සෝමාවතී කතා වස්තුව මෙසේ දිග හැරෙන වගයි.........
ලාංකික බෞද්ධ බැතිමතුන්ගේ මුදුන් මල්කඩක් බඳුවූ ඓතිහාසික සෝමාවතී චෛත්‍ය රාජයාණන් වහන්සේගේ පුරාතන කතා වස්තුව මේ වෙසක් පුන් පෝදා අපි මෙසේ දිග හරිමු.
මහාවංශය, සිංහල ධාතු වංශය, පාලි ධාතු වංශය, ජිනකාලමාලි ආදී ඓතිහාසික ග්‍රන්ථවලින්ද පුරාවිද්‍යාත්මක ගවේෂණයන් ගෙන් සොයා ගත් නටඹුන් හා සෙල්ලිපිවලින් සෝමාවතී චෛත්‍යරාජයා හා සෝමාවතී ප්‍රදේශය පිළිබඳ කරුණු අනාවරණය වේ.
ඓතිහාසික ග්‍රන්ථවල සඳහන් පරිදි රුහුණු, මායා, පිහිටි වශයෙන් කොටස් 03කට බෙදුණු ශ්‍රී ලංකාවේ රුහුණු ප්‍රදේශයට සම්බන්ධ ගිරි, සෝම,සේරු, ලෝණ නගර යනුවෙන් රාජ්‍ය 04ක් තිබූ බව ධාතු වංශයේ සඳහන් වේ.
එකල රුහුණු මාගම්පුර රජ කළ කාවන්තිස්ස මහරජුගේ නැගණිය වන සෝමාවතී දේවිය, කැළණියේ තිස්ස හෙවත් ශිව රජුගේ බෑනා වූ අභය කුමරු සමඟ විවාහ වී ගිරි නුවර වාසය කළාය.
දුටුගැමුණු කුමරුගේ පැමිණීමත් සමඟ ඇතිවූ අමනාපයෙන් අභය කුමරු ගිරි ජනපදය අතහැර සෝමාවතී දේවිය සමඟ සේරු නුවර ශිව රජු වෙත ගිය බවත්, ඔහුගෙන් පරිත්‍යාග වශයෙන් ලැබුණු මහවැලි ගඟ අසබඩ සෝමපුරය නමින් රාජධානියක් කොට පාලනය කළ බව ධාතුවංශය හා ජිනකාල මාලිනියෙහි සඳහන් වේ.
එනමුත් මේ පිළිබඳව තොරතුරු සොයා යාමේදී හමුවූ තවත් පුවතක් නම් කාවන්තිස්ස රජතුමා ස්වකීය පුතණුවන් වන දුටුගැමුණු කුමාරයා උතුරේ 44 වසක් රජ කළ එළාර රජතුමාගෙන් වන උවදුරුවලින් ආරක්ෂා කර ගැනීමේ හා අනාගත සුරක්ෂිතතාවය සඳහා ස්වකීය නැගණිය වන සෝමාවතී දේවිය සමීපයට අප්‍රසිද්ධව යැවූ බව සඳහන් වේ.
ගිරි රාජ්‍යයෙහි විසූ සෝමාවතී දේවිය ස්වකීය බෑනණුවන් වන දුටුගැමුණු කුමාරයා අප්‍රසිද්ධව ආරක්ෂා කර ගනිමින් ක්‍රමයෙන් මහජනතාව සමඟ සම්බන්ධ වීමට සලස්වා තමාගේ දියණිය වන ස්වර්ණමාලිය සහිත එම ප්‍රදේශය භාර කොට අභය කුමරු හා පිරිවර සමඟ සෝම නමින් නුවරක් හිතමිත්‍ර ශිව රජුගේ සේරු නුවරට යාබදව මහවැලි ගඟ අසබඩ පිහිටුවා ගත් බවත්, දුටුගැමුණු කුමරු එම ගිරි ජනපදයෙහි (වර්තමාන කන්ද උඩරට) වාසය කරමින් ආයුධ සන්නද්ධ වී උතුරුකරයේ මහවැලි ගඟින් එගොඩ ප්‍රදේශ රාජ්‍ය කළ එළාර රජතුමා පරදවා අනුරාධපුරයට ගොස් සෝමාවතී දේවියගේ දියණිය වන ස්වර්ණමාලියගේ නමින්ම “ස්වර්ණමාලි” චෛත්‍යරාජයා සෑදවූ බවත් වසර 24ක් අනුරාධපුර රාජධානියෙහි රජකම් කළ බව ද සඳහන් වේ.
ගිරි අභයකුමරු හා සෝමාවතී දේවිය මෙම අභිනව සෝම නම් රාජධානියෙහි වාසය කරන කල්හි වැඳුම් පිදුම් කිරීම සඳහා විහාරයක් නොමැති හෙයින් දාගැබක් සහිත විහාරයක් ඉදි කිරීමට සුදුසු ස්ථානයක් සොයා බැලීය.
එම ඉදි කළ විහාරය පිළිබඳව ලියැවී ඇති “ජිනකාලමාලි” නම් ග්‍රන්ථයෙහි 151 පිටුවෙහි සඳහන් අන්දමට සිව නමැති සේරු නුවර රජ, අභය රජුගේ මිතුරෙක් විය. සේරු රජ විල්කෙළවර රම්‍ය භූමි භාගයක නුවරක් මවා අභය රජුට දුනි. අභය රජු ඒ නුවරට දේවියගේ නාමය අනුව සෝම නුවර යැයි තැබීය.සමෘද්ධ වූ ඒ නගරයෙහි අභය රජු රාජ්‍යය කළේය.
පසු කලෙක සෝම දේවිය රජු අමතා “දේවයිනි, අපේ නුවර චෛත්‍යයක් හා විහාරයක් කරවීම වටී” යයි කීය. රජතෙම යහපතැයි කියා විහාරයට සුදුසු බිමක් සොයන්නේ නුවරට ඉතා දුර නොවූත් ඉතා ළං නොවූත් සල් වනයක් නොදුටුවේය.
ඒ වනෙහි මහා අරිට්ඨ තෙරුන්ගේ පරම්පරාවෙහි වූ මහින්ද නම් තෙරුන්ගේ පරම්පරාවෙහි වූ මහින්ද නම් තෙර නමක් සැට නමක් භික්ෂූන් සමඟ වාසය කරයි. රජතෙම ඒ තෙරුන්ට පැහැදී සල් වනයෙහි විහාරයක්ද දාගැබක් ද සාදවා “ස්වාමිනී, ධාතු කොහෙන් ලබා ගන්නෙම්දැයි” තෙරුන්ගෙන් විචාළේය.එකල තෙර නම තමා විසින් පුදන ලද බුදුන්ගේ දකුණු දළදාව රජුට දුනි. රජතුටු පහටු වූයේ යහපත් නැකතකින් එය දාගැබෙහි පිහිටුවා අතිමනෝහර වූ දිය බුබුළක් හා කෛලාශකූටය වැනි වූ චෛත්‍යයක් සෑදවීය.
රජතෙම දේවිය සමඟ ධාතූන් වහන්සේට මහත් සත්කාර කරමින් මිහිඳු තෙරුන් ප්‍රමුඛ සංඝයාට මහදන් දෙමින් රාජ්‍යය කරවීය.” මේ අයුරින් පාලි පාඨයේ සිංහල අනුවාදය සඳහන් වේ.
මහාදාඨික මාහානාග රජු(ක්‍රි.පූ.09 සිට ක්‍රි.ව.21) විසින් පිහිටුවන ලද සෙල්ලිපි 02ක සඳහන් කරුණු අනුව “පජනි නක අරබ” වනුවෙන් ප්‍රාචීන නාගාරාමය නමින් මුලදී මෙම විහාරය හැඳින්වූ බවත්, ඒ අනුව රුහුණේ ආරම්භකයා වූ මහානාග රජුගේ නමින් මෙම සෝමාවතී විහාරය මුලදී නම් කොට ඇති බව පෙනේ. මහානාග රජුගේ පුතණුවන් වන යටාලතිස්ස රජතුමා ඔහුගේ පුත් ගෝඨාභය රජතුමා බවත්, ඔහුගේ දියණිය සෝමාවතී දේවිය වූ අතර පුතා කාවන්තිස්ස විය.
සෝමාවතී දේවිය තම පියාණන්ගේ පියා වූ යටාලතිස්ස රජුගේ පියා වන තම මුත්තණුවන් හෙවත් මහානාග රජු විසින් කරවන ලද නාගරම විහාරයේ “මණිඅගිය” නමින් මෙම සෝමාවතී විහාරය නම් කර ඇති බව පළමුවන ගජබාහු (ක්‍රි.ව.112 සිට 134) රජතුමාගේ හා කනිට්ඨතිස්ස (ක්‍රි.ව.164 සිට 192) රජතුමාගේ සෙල්ලිපි 02ක සඳහන්ව ඇත.
සෝමාවතී දේවියගේ අභාවයෙන් පසු ඈ සිහිවීම සඳහා සෝමාවතී යන නාමය මෙම විහාරය සහිත ප්‍රදේශයට හඳුන්වා ඇති බවත්, පරාක්‍රමබාහු රජතුමා සෝමාවතී නමින් ඇළක් කරවූ බවත් මහාවංශයෙහි සඳහන් වේ.
මේ කරුණු අනුව පොලොන්නරු යුගයේ අවසානය දක්වාම සෝමවතී විහාරය සහිත ප්‍රදේශය පැවති බවත්, කාලිංඝ මාඝ, චන්ද්‍රභාණු ආක්‍රමණය නිසා මුළු පොළොන්නරුව රාජධානියම විනාශයට පත්වූ බව ඉතිහාස පුවත් අනුව සඳහන් වේ.
මේ අනුව මහානාග රජුගේ බිරියක් වන සෝමවතී දේවිය හා ගිරි අභය කුමරු වැඳුම් පිදුම් කිරීම සඳහා දාගැබක් හා විහාරයක් ඉදි කිරීමට ස්ථානයක් සොයනුයේ මිහිඳු නම් රහතන් වහන්සේ සමඟ 60 නමක් රහතන් වහන්සේලා වැඩ විසූ මනරම් සල් වනයක් මැද තිබූ නාගාරාමය නම් විහාරය දැක එය තම මුත්තණුවන් විසින් ඉදි කරන ලද බව දැන ගැනීමෙන් අපමණ සතුටට පත්ව විහාරයක් සහිත දැගැබක් ඉදි කිරීමට කටයුතු සූදානම් කරන ලදී.
දාගැබෙහි නිදන් කිරීමට ධාතූන් වහන්සේලා ලබා දෙන මෙන් ගිරි අභය කුමරු හා සෝමාවතී දේවිය මහින්ද රහතන් වහන්සේගෙන් ඉල්ලා සිටියහ. ලංකාවට සම්බුද්ධ ශාසනය වැඩම වූ මහා මහින්ද මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය වූ මහාදේව මහ රහතන් වහන්සේ ද උන් වහන්සේගේ ශිෂ්‍ය වූ දෙවන මහින්ද මහ රහතන් වහන්සේ මේ පුවත අසා අපමණ සතුටට පත්ව මෙම ප්‍රාචීන නාගාරම විහාරය ආරම්භ කළ දේවානම්පියතිස්ස රජුගේ සහෝදරයා වන මහානාග කුමාරයාගේ මුණුපුරාගේ දියණිය වන සෝමාවතී දේවිය හා ගිරි අභා කුමරුට තමන් වහන්සේ මෙතෙක් වැඳ පුදා ගෙන පැමිණි බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ පරිත්‍යාග කළහ.
මහාවංශයෙහි සඳහන් වන අයුරින් දේවානම්පියතිස්ස රජතුමාගේ බිසව අඹයකට විෂ යොදා අනිත් අඹ සමඟ මහානාග කුමාරයා වෙත යවන විට දේවානම්පියතිස්ස රජතුමාගේ පුතා එම අඹ ගෙඩිය අනුභව කිරිමෙන් මරණයට පත් වීමෙන් මහානාග කුමාරයා තම ජීවිත ආරක්ෂාව සඳහා සිය බිසව හා බල සේනාව සහිත භික්ෂූන් වහන්සේ සමඟ උතුරේ සිට රෝහණයට යන ගමනේදී මහවැලි ගඟෙන් එගොඩ වීමත් සමඟ පිහිටි මනරම් භූමියෙහි තමාගේ නමින්ම සාදවන ලද විහාරය මෙම නාගරාම විහාරය බව පැහැදිලි වේ.
වංශ කතාවලට අනුව සෝමාවතී දාගැබ පිහිටා ඇත්තේ මහවැලි නදියට නැගෙනහිරින් වූ රුහුණු ප්‍රදේශයේය. නමුත් දැනට මහවැලි නදියට සැතපුම් භාගයක් පමණ දුරින් බස්නාහිර දෙසින් උතුරු මැද ප්‍රදේශයට සම්බන්ධව පිහිටා ඇත.කාලයාගේ ඇවෑමෙන් මහවැලි නදිය වෙනස් වෙමින් ගැලීම නිසා මෙය සිදු වූ බව පුරාවිද්‍යාත්මක සාධක අනුව හෙළි වන අතරම චෛත්‍ය රාජයා වෙත යන මාර්ගය ද අද වැටී ඇත්තේ පුරාතනයේ ගැලූ මහවැලි ගඟ දිගේ බවත්, එහි දක්නට ඇති වැලි තලාව ඉපැරණි කුඹුක් ගස් ආදියෙන් මනා සේ පැහැදිලි වේ.
එදා සෝමාවතිය රුහුනු ප්‍රදේශයට අයත් වුවද මහවැලි නදිය ගැලූ මාර්ගය වෙනස් වීම නිසා අද රජරට ප්‍රදේශයේ තමන්කඩුව පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත්ව පවතී.
සෝමාවතී දැගැබ් වහන්සේ බුදු රැස් විහිදෙන සෝමවතී චෛත්‍ය රාජයා නමදිමු.
ශ්‍රී දකුණු දළදා වහන්සේට නමස්කාර වේවා!
ඒකාදාඨාතිදසපුරෙ - එකානාගපුරෙ අහූ එකා ගන්ධාරවිසයෙ - එකාසි කාලිංගවිහයෙ එකසි පූන සීහලෙ චතසෙසාතා මහාදාඨා නිබබාණ රස දීපිකා පූජිතා නර දෙවෙහි තාපි වන්දාමි ධාතුයො
තේරුම - ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේලා සිව් නමගෙන් එක් නමක් තව්තිසා දිව්‍ය ලෝකයෙහිත්, එක් නමක් නාග ලෝකයේත්, එක් නමක් ගාන්ධාර දේශයෙහිත් එක් නමක් කලිඟු රටෙහිත් විය. නැවත එක් නමක් සිංහල ද්වීපයට ද වැඩම වූහ. නිර්වාණ රසය ළඟා කර දෙන ඒ මහා දළදා වහන්සේලා සිව් නම මිනිසුන් හා දෙවියන් විසින් පුදන ලදහුය.ඒ ධාතූන් වහන්සේලා මම ද වන්දනා කරමි.
ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ පිරිනිවීමෙන් පසු උන්වහන්සේගේ ශ්‍රී බුද්ධ දේහය ආදාහන කළ මොහොතේදී ඉතිරි වූ ප්‍රධාන ධාතූන් වහන්සේලා අතරින් පසු කාලය වන විට අකු ධාතූන් වහන්සේ අනුරාධපුර ථූපාරාම (ලංකාවේ ප්‍රථම) චෛත්‍යරාජයාගේත්, දකුණු දළදා වහන්සේ පොළොන්නරුවේ ඓතිහාසික සෝමාවතී චෛත්‍ය රාජයාගේත්, ලලාඨ ධාතුන් වහන්සේ සේරුවිල මංගල චෛත්‍යරාජයාගේත්, ග්‍රීවා ධාතූන් වහන්සේ මහියංගන චෛත්‍යරාජයාගේත්, නිදන් කොට ඇත.
“ඒකදාඨා තිදසපුරෙ” යන ගාථා පාඨය අනුව තව්තිසා දෙව්ලොව සිළුමිණි සෑයෙහි නිදන් කොට ඇත්තේ, බුදු රජාණන් වහන්සේ නමක් බව පාලි ලලාඨ ධාතු වංශයෙහි, පූජාවලියෙහි හා දළදා සිරිතෙහි සඳහන් වේ. “එකාසි පූන සීහලෙ” යන්නෙන් ශ්‍රී ලංකාවේ දළදා වහන්සේ නමක් වැඩ වසන බව පැවසේ. සිංහල ලලාඨ ධාතු වංශයෙහි මෙන්ම පාලි ධාතු වංශය හා ජිනකාලමාලි නම් ග්‍රන්ථ අනුව මේ දකුණු දළදා වහන්සේ බුදු රජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා බෙදූ දිනයේ දී ජයසේන නම් නා රජෙකු නාග ලෝකයට රැගෙන ගොස් රන් දාගැබක තබා වන්දනා කළ බවත්, කාවන්තිස්ස රජු කාලයේ මහාදේව හිමියන්ගේ ශිෂ්‍ය මිහිඳු හිමියන් නාග ලෝකයට වැඩමවා දකුණු දළදා වහන්සේ ගෙන ගිරි අභය රජුගේ සේරු නුවර පසුව සෝම නුවර පර්වතයට නුදුරු චෛත්‍යයෙහි තැන්පත් කළ බව ධාතු වංශයෙහි සඳහන් වේ.
මෙම ජිනකාලමාලි ග්‍රන්ථයෙහිත් ,ධාතුවංශයෙහි හා සෝමාවතී චෛත්‍ය රාජයා සමීපයේ පිහිටි දිග්ගල හෙවත් එරික්සෝන් ගලේ ඇති ශිලා ලේඛනවල හා සෑ මළුවෙහි පිහිටි ගල් පුවරු ශිලා ලේඛනවල සඳහන් වන කරුණු අනුවත්, චෛත්‍ය රාජයා අවට ඇති පුරා විද්‍යාත්මක සාධක හා නශ්ටාවශේෂ අනුව බලන විට ගිරි අභය කුමරු හා සෝමාවතී දේවිය විහාරයට සුදුසු තැනක් සෙවීමේදී මෙම ස්ථානයෙහි මිහිඳු හිමියන් ප්‍රධාන 60 නමක් වැඩ විසූ ආකාරය සඳහන් වේ.එම සැට නම වැඩ සිටි විහාර සංකීර්ණය හෙවත් සංඝාවාස 60ක නටඹුන් සෝමාවතී චෛත්‍යරාජයාට නැගෙනහිරින් අඩි 1000කට ඈතින් පිහිටුවා ඇති වාහල්කඩ සහිත ප්‍රාකාර බැම්මට නුදුරින් නැගනෙහිර පැත්තේ අදත් දැකයි හැකි වන අතර එම ස්ථානවල පාත්‍ර කෑලි, වලන් කෑලි හා ඉපැරණි ගඩොල් ආදියෙන් සමන්විත ගොඩනැගිලි දක්නට ඇති අතර ජල ගැල්ම නිසා පස්වලින් වැසී ඇතත් එම ස්ථානවල ගස් නොපැලවී ගඩොල් කෑලි, පාත්‍ර කෑලි ආදිය මතු වී ඇති අයුරු දැක ගත හැක.
සටහන - ජීවන්ති වීරසිංහ