
අපි ඔක්කොමලා ඉතාම බලසම්පන්න මායාකාරයෙකුගේ මායාවකට අහුවෙලා ඉන්න අය. විඤ්ඤාණය නැමති මායාකාරයා විසින් මවන ලද ලෝකයකට රැවටිලා ඉන්න අය. ඒ මායා දැලේ පැටලිලා වෙලිලා සතර මහා ධාතුවේ නොමිදී, සතර මහා ධාතුවේ දුක් විඳිමින් ඉන්න අය අපි. ඉතින් මේ ජීවිතේ කොහොම හරි මේ ටික තේරුම් ගත්තොත් අනන්ත අපරිමාන සංසාරෙක ඉදන් පැවතී සියළුම දුක් කන්දරාව නිමා කරගන්න පුළුවන්. ඒක ඒකාන්තයෙන්ම මේ ජීවිතේ නුවණක් තියෙන කෙනාට කරගන්න පුළුවන්මයි. අවුරුදු දහස් ගණනක් මේ ශාසනේ පැවතිලා අද වෙනකොට මේ පරියප්ත්තිය මොන විදිහකට හරි හැල හැප්පීම් කලකෝලාහල මැද්දේ මේ ධර්මය ගලාගෙන එන්නේ මේකෙන් ප්‍රයෝජන අරගෙන සසරෙන් මිදෙන්න හේතු තියෙන වාසනභාගි බව තියෙන අය ලෝකේ ඉන්න නිසයි. ඒකාන්තයෙන්ම ඒ වාසනභාගි බවට උරුමකම් කියන පින්වතුන් වෙන්න පුළුවන් අපි. ඉතින් ඒ සඳහා ජීවිතය පැත්තකින් තබලා ඊට උත්සාහවත් වෙන්න කියල මතක් කරනවා.
අඩුපාඩු ජීවිතවල වෙන්න පුළුවන්. ඒක ගැන හිතන්නවත් දෙයක් නැහැ. මොකද අවිද්‍යාව කෙලෙස් නිසයි අඩුපාඩු වෙන්නේ. මීට වඩා අනන්තවත් සංසාරේ අඩුපාඩු වෙන්න ඇති. ඒ අඩුපාඩු වුනත් මට පුළුවන් නම් ඔයාලට පුළුවන් නම් අද වෙන අඩුපාඩු හෙට දවසේ හැදෙන ධර්මයක ඉන්න එතනයි වටින්නේ. මේ ශාසනේ කවදාවත්ම වැරද්දක් වෙච්ච අඩුපාඩුවක් වෙච්ච කෙනාව වේලිච්ච පිදුරු ගහක් විසි කරනවා වගේ විසි කරන ශාසනයක් නෙමෙයි. අඩුපාඩු වැරදි වෙන්නේ පුද්ගලයෙක්ගෙන් නෙමෙයි. අඩුපාඩු වැරදි වෙන්න හේතුව තිබුන නිසානේ. බුදු හාමුදුරුවෝ පෙන්වන්නේ හේතු ප්‍රත්‍යයක්. මේ හේතුව නැතිවෙච්ච දවසට ඔය වැරැද්ද අඩුපාඩුව වෙන්නේ නැහැ. ඉතින් ඒ හේතු ටික නැති කරගන්න මේ අඩුපාඩුව බලපාන්නේ නැහැ. මේ අඩුපාඩුව යම් හේතුවක ඵලයක් නම් ඒ හේතුව වැයවෙලා හැදුන ඵලය. අපිට පුළුවන් නම් ඒ ඵලය උදව් කරගෙන මගේ අතින් මෙහෙම අඩුපාඩුවක් වුනා මම මේක නැවත වෙන්න දෙන්නේ නැහැ කියල ඵලය ආදර්ශයට අරගෙන හේතුවක් හදන්නේ නැතුව ඉන්න පුළුවන් නම් නැවත මෙබඳු ඵලයක් හටගන්නේ නැහැ.
ඒ නිසා මේ ජීවිතය කියන එකේ වටිනාම දෙය මෙන්න මේ ධර්මය කොහොම හරි තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. එක පාරටම මේ බිත්තියේ බඩගාගෙන යන්න කිව්වොත් පුළුවන් ද? බැහැ. නමුත් බැරි වුනත් ඒකට නගින්න ක්‍රම තියෙයි. ඉනිමගක් තියල හරි. ඒ වගේ බුදු හාමුදුරුවෝ දේශනා කරලා නැහැ මේකේ නගින්න බැරි නම් එයාට බැහැ කියල එකක් පෙන්නලා නැහැ. එහෙම නගින්න බැරි නම් මේ විදිහට නගින්න. ඒ වගේ ජීවිතයේ ඒ විදිහට කරන්න බැරි නම් මේ විදිහට කරන්න පුළුවන්. එක එක උපායන් පෙන්වලා තියෙයි. ඒ නිසා කවුරු හරි තමන්ගේ ජීවිතයේ වුන අඩුපාඩු ප්‍රශ්න ගැටළු ගණන් ගන්න එපා. නමුත් ඒකාන්ත කොට මේ අඩුපාඩු හැදිලා සියළුම සසර දුක් ගිනි නිවෙන ධර්මයක මම ඉන්නවා කියල හැමදෙනාම අධිෂ්ඨාන කරගන්න ඕනේ.
ඕකට හොඳ සාක්ෂියක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ හිටියා සරකානි කියල එක්තරා ශාක්‍යයෙක්. සරකානි හරියට බොනවා. කොච්චර බොනවද කියන්නේ ගෙදර යන්නේ නැහැ කානු පල්ලේ වැටිලා තැන් තැන්වල ඉන්නේ. බුදු හාමුදුරුවන්ට මේ සරකානි හම්බ වෙලා දවසක් බණ කියනවා. බණ කිව්වහම ධර්මය තේරෙනවා සරකානිට. නොබොන වෙලාවට මෙයා හොඳට ධර්මය ගැන හිතන්න පටන් ගත්තා ටිකෙන් ටික ටිකෙන් ටික. ආයේ හවස් වෙනවකොට බොනවා. ඔහොම ඔහොම මෙයා ජීවිතේ අහගත්ත බණ ටිකත් හිතනවා අනික් වෙලාවට බොනවා. කොච්චර කාලයක් ගියාද කියනවා නම් දවසක් සරකානි හදිසියේ කළුරිය කළා. භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා අහනවා ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස සරකානි නැමති ශාක්‍යා මැරුණා එයාගේ පරලොව ගතිය මොකක්ද ? සරකානි බොහොම දක්ෂ පණ්ඩිත සෝතාපන්න වෙච්ච උපාසකයෙක් කොට දරත්වා කියල බුදුරජාණන් වහන්සේ වදාළ.
මේ ආරංචිය ලැව් ගින්නක් වගේ හැමතැනම යනවා. "යකෝ ඔහොම බැලුවහම කාටද සෝවාන් වෙන්න බැරි බේබද්දොත් සෝවාන් වුනා නම් කානු පල්ලේ වැටි වැටි හිටපු වුනුත් සෝවාන් වුනා නම්" කියන පණිවුඩය කොසොල් රජ්ජුරුවන්ගේ රජ මාලිගයටත් ගියා. මහානාම ශාක්‍යාටත් මේ පණිවුඩය ආරංචි වුනා. සරකානි ශාක්‍යා සෝවාන් වුනා කියන එක නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එකක් වෙන්න බැහැ මේක වෙන කාගේ හරි මතයක් කියල මහානාම ශාක්‍යා මේක බුදුරජාණන් වහන්සේගෙන්ම අහලා දැනගන්න ඕනේ කියල හිතල බුදු හාමුදුරුවෝ ලඟට ගිහිල්ලා අහනවා ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස සරකානි සෝවාන් වුනා කියන වචනය ඔබ වහන්සේ වදාළද? ඔව් මම කිව්වා කියල බුදුරජාණන් වහන්සේ වදාළ. "එහෙම වෙන්නේ කොහොමද භාග්‍යවතුන් වහන්ස මේ ඔක්කොමල දොස් කියනවා එහෙම නම් කාටද සෝවාන් වෙන්න බැරි දැන් සෝවාන් වෙන එක ඒ තරම් දෙයක්ද, සිල් රකින්නේ නැති බොන මිනිස්සුත් සෝවාන් වෙනව නම්" කියල.
ඊටපස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සරකානි බීපු බව ඇත්ත. සරකානි මට ඊයේ හවස හම්බුනා. එතකොට මම ධර්ම දේශනා කළා සරකානි එතකොට සෝවාන් ඵලයට පත්වුනා. ඊයේ හවස ඉදන් බිව්වේ නැහැ සරකානි. මිනිස්සු දකින්නේ අතීතයේ ඉඳන් ඊයේ දවස වෙනකන් ටිකනේ. නමුත් එයා කලින් බිව්වට නොබොන වෙලාවට හොඳට බණ දහම් හිතමින් හිතමින් හිටපු නිසා එයාගේ මනසේ ධර්මය හොඳින් මුහුකුරමින් තිබුනා. සෝවාන් වුනේ නැහැ නමුත් ධර්මය තේරුම් ගන්න පුළුවන් මට්ටමට ජීවිතයේ ටික ටික ආවා. ඒ කාලේ වෙනකන් තමයි බුදුරජාණන් වහන්සේ මුලින්ම ධර්ම දේශනා කරලා ශබ්ද නැතුව හිටියේ. සරකානි සිල්වත් නම් ඊට ඉස්සෙල්ලා සෝවාන් වෙනවා නමුත් එයා දුබල නිසා, සිහියෙන් ඉන්න වෙලාවට ධර්මය හිතනවා අනික් වෙලාවට බොනවා. මෙහෙම කාලයක් යනකොට ධර්මය හොඳට මුහුකුරලා මෙයාගේ මනස ඇතුලේ. තාම සෝවාන් නෙමෙයි. නමුත් මැරෙන්න ඉස්සෙල්ලා දවසේ බුදුරජාණන් වහන්සේ මුණගැහිලා බුදුරජාණන් වහන්සේ ධර්මය පැහැදිලි කරනකොට ධර්මය අවබෝධ වුනා මොකද මෙයා කලින් හොඳට ධර්මය හිතල තිබුන නිසා.
ඊයේ හවස බණ අහලා අද උදේ මැරුණා නම් මිනිස්සු දකින්නේ ඊට කලින් එයාගේ චරිතෙනේ. ඉතින් ඔය ටික මහානාම ශාක්‍යාට පැහැදිලි කළා. සරකානි සෝවාන් වුනාට පස්සේ බිව්වේ නැහැ. ඊයේ වෙනකන් .බොන්න ඇති. හැබැයි ඊයේ මට හම්බවුනා ඒ හම්බවුන වෙලාවේ මම ධර්මය දේශනා කළා එතකොට සෝවාන් වුනා. ඕකට කියනවා විමුක්ති පරිපාචනීය ධර්ම. ඒ කියන්නේ විමුක්තිය පිණිස මුහුකුරමින් පවතින ධර්ම. ධර්මය මුලින් හම්බ වුනත් මෙයා දුබල නිසා මෙයාගේ මේ ගතිය නවත්තන්න බැහැ නමුත් එයා ධර්මය හිතන එක නැවත්තුවෙත් නැහැ. ඒකෙන් හොඳ අදහසක් දෙනවා. ඒකෙන් කියන්නේ නැහැ බි බී ධර්මය හිතන්න කියල. නමුත් ඒකෙන් කියන්නේ වැරැද්ද වුනත් එයා ඒ මත ගිලෙන්නේ නැතුව හිටියා. වැරැද්ද නෙමෙයි පුතේ දෝෂය වැරැද්දම ජීවිතය වෙන එක. මුළු ජීවිතේ හැම වෙලාවේම වැරද්දම පන්නගෙන යන එක තමයි දෝෂය. නමුත් සරකානිගේ අතින් ඒ වැරැද්ද වුනත් අනික් වෙලාවේදී වැරැද්ද ජීවිතය කරගත්තේ නැහැ. මේ වැරැද්ද වෙන්නේ කෙලෙස් නිසානේ කියල තේරුම් අරගෙන ඒක හරිගස්සන්න හැදුවා.
සිහියෙන් ඉන්න හැම වෙලාවකම බුදුරජාණන් වහන්සේ දේශනා කල බණ පදය ටික ටික හරි හිතුවා. ඒ නිසා එයාට පුළුවන් වුනා ජීවිතේ අන්තිම කාලේ හරි මිදෙන්න. ඒ ධර්මය හිතනකමට මනසේ නුවණ ටික ටික මුහුකුරනවා. හැබැයි එහෙම නොහිතනකම මත වැරද්දක් කරන එක හරි බලවත්. හරි භයානකයි. වැරැද්ද ජීවිතයම වෙලා යටටම යනවා. ඒකයි බුදුරාජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ඉන්නවා දුස්සීලම දෙන්නෙක්. එක්කෙනෙක් මරණෙන් පස්සේ සතර අපාය නැමති දුගතියටම යනවා. අනික් කෙනා දුස්සීල වුනත් දුගති මාත්‍රයකටවත් යන්නේ නැතුව සුගතියකටම යනවා. අපි හිතන්නේ සිල්වත්කම රැකවරණයක් කියල. ඇත්ත තමයි. එහෙම නැතුව නෙමෙයි. නමුත් සිල්වතුන් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනක් මරණෙන් පස්සේ දුගතියකට යනවා. එක්කෙනෙක් මරණෙන් පස්සේ සුගතියකටම යනවා. සිල්වත් වුනත් දෘෂ්ඨිය වැරදි නම් එයා දුගතියකට යනවා. සිල්වත් ඒ එක්කම දෘෂ්ඨිය සෘජුයි නම් සුගතියකට යනවා. දුස්සීලයි දෘදෘෂ්ඨියත් වැරදි නම් දුගතියකටම යනවා. දුස්සීලයි දෘෂ්ඨිය සෘජුයි නම් සුගතියකට යනවා.
කය වචන දෙක නෙමෙයි මනසයි බලපාන්නේ. හැබැයි මනසේ ක්‍රියාවට කය වචන දෙක සංවර කරගන්න පුළුවන් වේගවත් මානසික ක්‍රියාවලිය ධර්මය අවබෝධ කරගන්න. එච්චරයි වෙනස. මනසේ ධර්මය මුහුකුරණ එකට වේගය අඩු වැඩිවන එක විතරයි කායික වාචසික සංවරය මත වෙන්නේ. ඒකෙන් මම කියන්නේ හැමෝම දුස්සීලව හිඳිමින් මෙහෙම කරපල්ලා බිබී මෙහෙම කරපල්ලා කියන එක නෙමෙයි. අපිට හිතෙන්න පුළුවන් අපේ අඩුපාඩු තියෙන හින්දා මේ ධර්මය අවබෝධ කරගන්න බැරිවෙයිද, ධර්මයේ ප්‍රයෝජන ලැබෙන්නේ නැති වෙයිද කියල මන්දෝත්සාහි ගතියක් ඇතිවෙන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ කියන එක කියන්නයි මම මේ උදාහරණය ගත්තේ. එහෙම අඩුපාඩු නොවෙන කෙනාත් දුගතියට යන පැවැත්මක් තියෙනවා නම් අඩුපාඩු වෙලත් දුගතියකට නොයන පැවැත්මක් බුදුරජාණන් වහන්සේ දේශනා කලේ. ඒ නිසා හැමදෙනාම උත්සාහවත් වෙන්න ඔගොල්ලොන්ගේ මේ ජීවිතේ එකානත්යෙන් හිස්වෙන්නේ නැහැ කියන එක මතක් කරනවා. මට පුළුවන් විදිහට තේරෙන විදිහට ඉදිරියේදීත් අනුග්‍රහ දක්වන්නම්. හැමදෙනාටම මේ දේශනාව උතුම් නිර්වාණය සදහා පාරමිතාවක් වේවා.
අතිපුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ විසන් 2017.04.08 දින භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් සිදුකල දේශනාව ඇසුරෙන්
සම්පූර්ණ දේශනාව ශ්‍රවනය කිරීමට