චීනයේ අන්තර්ජාල පුද්ගලීකරණය සහ ශ්‍රී ලංකාව

32 views
Skip to first unread message

Niranjan Meegammana

unread,
Jun 20, 2019, 7:25:37 AM6/20/19
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
චීනයේ අන්තර්ජාල පුද්ගලීකරණය සහ ශ්‍රී ලංකාව

රාජ්‍ය මැදිහත් වීමකින් තොරව ජනතාව විසින් ගොඩනගන ලද බැවින් කිසිවෙක් අන්තර්ජාලයට හිමිකම් කියන්නේ හෝ එය පාලනය කරන්නේ නැත. එය  

ස්‌පර්ශ කළ නොහැකි භෞතික යටිතලයකින් ජාලයන් එකිනෙක සම්බන්ධ කරන ජාලයකි.

අන්තර්ජාලය යනු පොදු මහජන අදහස් ප්‍රකාශනයට, විරෝධතා සංවිධානයට සහ නිදහසේ සීමා පුළුල් කිරීමට යොදාගැනෙන විමුක්තිකාමී තාක්ෂණයකි.

චීනයේ අන්තර්ජාලය චීන ආර්ථිකය මත විශාල බලපෑමක් ඇතිකරනු ලබන අතර මහජන දේශපාලන මනස හැඩගස්වනු ලබයි. චීනයේ මහා අන්තර්ජාල ආරක්ෂණ ප්‍රාකාරය (The Great Firewall) නිර්මාණය කරන ලද්දේ ජාලගත තොරතුරු නීත්‍යානුකූලව නිරීක්ෂණයට සහ වාරණයට ය. එය විසින් චීන ජනතාව බාහිර ලෝකයට ජාලගතව නිරාවරණය වීම පාලනය කරනු ලබයි.

කෙසේ නමුත් සයිබර් අවකාශය දැඩිව පාලනය වන නමුත් චීන ජනතාව සිය රජයට සහ දූෂිත නිලධාරී පන්තියට එරෙහි අදහස් සංක්ෂිප්ත බ්ලොග් සටහන් (microblogs) හරහා එළිදක්වති.

අද වන විට චීන රජය සහ ප්‍රාදේශීය පාලන තන්ත්‍රයන් මගින් අන්තර්ජාල ආරක්ෂණ සේවාවන් තුළ සඟවා ආවේක්ෂණ සහ පාලන කාර්යයේ යොදවා ඇති පුද්ගලික සමාගම් හේතුවෙන් මිලියන 800ක චීන අන්තර්ජාල පරිශීලකයෝ නව තර්ජනයකට ලක් ව සිටිති.

අන්තර්ජාලගත මහජන සාකච්ඡා හා අදහස් නිරීක්ෂණය කිරීම, පාලනය කිරීම සහ හැසිරවීම ආදී කටයුතු වෙනුවෙන් විවිධ නිෂ්පාදන සහ සේවා ඉදිරිපත් කළ හැකි නව වෙළඳපොළක් පුද්ගලික සමාගම් සඳහා නිර්මාණය වීම අන්තර්ජාල පාලනය සහ ආවේක්ෂණය (surveyliance)  පෞද්ගලිකකරණය කිරීම හරහා සිදු වූවකි.

මහජන පෞද්ගලිකත්වය සහ නිදහස සීමාකරමින් ගොඩනැගෙන නව සයිබර් ආරක්ෂණ කර්මාන්තයක් බිහිකිරීමට චීන රජය වෙනුවෙන් 2000 කට ආසන්න සමාගම් ප්‍රමාණයක් අන්තර්ජාල ආවේක්ෂණ සේවයෙහි කැපවී සිටියි.


යාන්ත්‍ර අධ්‍යයන (machine learning) තාක්ෂණයන් උපයෝගී කරගෙන රජයේ අවශ්‍යතාවන්ට අනුකූලව අන්තර්ජාලගත අදහස් නිරීක්ෂණය, විශ්ලේෂණය සහ හැසිරවීම එම සමාගම් වල කාර්යයයි.


ෂිනුවා (Xinhua) ආදී   මාධ්‍ය ද, වීචැට් (We‍chat) ආදී සේවාවන්ද සිය මාධ්‍ය ධාරා සහ ස්වයංක්‍රීය පරිගණක වැඩසටහන් යොදාගෙන ජනතාවගේ සිතුම් පැතුම් හඳුනාගැනීමටද, ඍණාත්මක තොරතුරු යටපත් කිරීමටද, ධනාත්මක ප්‍රචාරණයක යෙදීමටද රජයට සහයෝගය දෙති.


සයිබර් සමාගම් හරහා සපයන නවතම සේවාවක් නම් කෘතිම බුද්ධිය පදනම් කරගත් ස්වයංක්‍රීය ප්‍රතිචාර දැක්වීමය (automatic commenting). මෙම පරිගණක වැඩසටහන් විසින් නව අන්තර්ජාල ලිපින සකස් කරගනිමින් පුරවැසියන්ගේ අන්තර්ජාලගත ලිපිවලට රාජ්‍ය හිතවාදී ප්‍රතිචාරයන් සටහන් කරනු ලබයි. එමෙන්ම රාජ්‍ය ප්‍රචාරණයන් සඳහා සාවද්‍ය කැමත්ත පළකිරීම් මෙන්ම අහිතවාදී අන්තර්ගතයන් සහ රචකයන් ඉවත්කිරීම් සඳහාද මෙම සමාගම් කටයුතු කරයි.


චීනය තුළ එරට රජය විසින් ඇතැම් අන්තර්ජාලගත ලිපි මකා දමා ප්‍රති-රාජ්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීම සහ දූෂිත නිලධාරීන් හෙළිවීම වැළැක්වීම සිදු කරනු ලබයි.


සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන පරිදි චීන රජය විසින් ධනාත්මක ප්‍රචාරණය සහ අදහස් හැසිරවීම සඳහා සමාජ මාධ්‍ය ලිපි  නිර්මාණය කරනු ලබයි.


2018 සයිබර් ආරක්ෂණ සමුළුවක දී, චීන ජනාධිපති ෂී ජින් පින්ග් විසින් පවසන ලද්දේ අන්තර්ජාලය රජයට හානිකර තොරතුරු පතුරුවා හරින මාධ්‍යයක් බවට පත්වීමට චීනය ඉඩ ලබා නොදෙන බවයි.


පුද්ගලික සමාගම් වල  තාක්ෂණික නව නිපැයුම් ජනතාව රාජ්‍ය බලයට නතු කිරීම සඳහා එරට රජයට උපකාරී වේ.


මෙම සමාගම් විසින් ප්‍රති-රාජ්‍ය වෙබ් අඩවි වලට පහර දී ඒවා වෙත ළඟාවීම අපහසු කරවා අඩපණ කිරීමේ (DDos)  ප්‍රහාර කරනු ලබයි. එමෙන්ම ඔවුන් විසින් දත්ත සමූහයන්ට හානි කිරීම සහ වෙබ් අඩවි හා සමාජ ජාල වල සංවේදී දත්ත සොරකම් කිරීම සිදු කරනු ලබයි. එමෙන්ම හානිකර වැඩසටහන්, ඔත්තු බැලීමේ වැඩසටහන් සහ පරිගණක වයිරස යොදාගෙන පරිශීලකයන් පාලනය කිරීමද කරනු ලබයි. ඔවුන් විසින් රජයේ අවශ්‍යතාව සඳහා පරිශීලකයන්ගේ පෞද්ගලික තොරතුරුද සොරකම් කරනු ලබයි. මේ වනවිට මෙම රාජ්‍ය බලය පැතිරවීමේ අනු කොන්ත්‍රාත් ලබාගැනීම ඉහළ යමින් පවතී.


ජනතාව පාලනයට නතු කිරීම සඳහා සහ ප්‍රාදේශීය මැතිවරණ වලට බලපෑම් කිරීම සඳහා චීන රාජ්‍ය නිලධාරීන් මැරවරයින් සහ පුද්ගලික ප්‍රචණ්ඩ ක්‍රියා යොදාගත් අවස්ථා ඇත.


බොහෝ ආවේක්ෂණ පද්ධති මගින් මාර්ගගත (online) ලිපි සහ ප්‍රතිචාර දේශපාලන නායකයන්ගේ නම් ආදී රජයට අදාළ යෙදුම් නිරීක්ෂණය සහ වාරණය කිරීම කරනු ලබයි. එබැවින් පළපුරුදු ක්‍රියාකාරීන් විසින් දේශපාලකයන් සඳහා යොදාගනු ලබන්නේ අන්වර්ත නාමයන්ය.


ගිණුම් වලට ඇතුළු වී අන්තන් බොහෝවිට අනුගමනය කෙරෙන ප්‍රති-රාජ්‍ය තොරතුරු පැතිරී යාම වැළැක්වීමේ ක්‍රමෝපායකි.


චීන සයිබර් ආරක්ෂණ නීතිය විසින් ඕනෑම අන්තර්ජාලගත ව්‍යාපාරයක් විනිවිද යාමේ දුරස්ථ පරීක්ෂණ යාන්ත්‍රණයක් පවත්වාගෙන යාමට රාජ්‍ය පාලන තන්ත්‍රයට ඉඩ දී ඇත.


ඩී. පී. අයි. (DPI-Deep Packet Inspection) තාක්ෂණය උපයෝගී කරගනිමින් අන්තර්ජාලය තුළ තොරතුරු ගලායාම නිරීක්ෂණයට සහ පාලනයට අවශ්‍ය චීන තාක්ෂණික සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය බලාපොරොත්තු වේ. මෙමගින් කේතනය කර යවන ලද දත්ත පවා

සන්නිවේදනය අතරමගදී පරික්ෂා කිරීමේ අවස්ථාව රජයට හිමි වේ.


අළුතින් කෙටුම්පත් කරන ලද ශ්‍රි ලංකාවේ සයිබර් ආරක්ෂණ පනත මගින් යෝජනා කෙරෙන පරිදි සයිබර් ආරක්ෂණ නියෝජිතායතනය (Cyber Security Agency) නමින් පුද්ගලික සමාගමක්‌ වනු ඇති අතර එයට

සයිබර් ආරක්‍ෂණ   සර්වබන්ධ අග්‍රස්‌ත හා ව්ධායක (Apex and Executive)  බලතල යෝජනා කරයි.


මෙම පනත මගින් තොරතුරු වෙත ළඟාවීම, ලබා ගැනීම හා බෙදා ගැනීම, ආවේක්ෂණ ක්‍රියාත්මක කිරීම, විමර්ෂණය, ආරක්ෂ‍ණය සහ ප්‍රහාරය ස්වීයව හෝ බාහිර කණ්ඩායම් ලවා කරවා ගැනීම සඳහා අවශ්‍ය බලය මෙම ආයතනය වෙත සපයයි. රාජ්‍ය හා පොදු සයිබර් ආරක්ෂණ අධිකාරියක්‌ පුද්ගලික සමාගමක් ලෙස නිදහස් අන්තර්ජාල ආර්ථිකය තුළ අනීතික වාසි සහගත තත්වයක් උදාකරගනු ඇත.


මෙම යෝජිත අධිකාරිය සෙසු ජාතික ආරක්ෂණ ආයතන වලින් වෙන්ව ජාතික ආරක්ෂාව පිළිබඳ කටයුතු කිරීම ජාතික අර්ථසිද්ධියට විරුද්ධ වන්නකි.


එමෙන්ම අන්තර්ජාල පාලනය සහ ආවේක්ෂණය මුළුමනින්ම පෞද්ගලිකත්වයට, තොරතුරු ප්‍රවේශ වීමට, ශ්‍රී ලාංකික පුරවැසි නිදහසට සහ අන්තර්ජාල ආර්ථිකයට තර්ජනයකි.


මෙම සම්බන්ධීකරණ නියෝජිතායතනය ඍජුවම පවතිනු ඇත්තේ මෙහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සිය අභිමතය පරිදි පත්කරනු ලබන ඩිජිටල් කටයුතු අමාත්‍යවරයා යටතේය. ශ්‍රී ලංකාවේ එදිනෙදා අත්දැකීම් සළකා බැලූ විට දේශපාලකයන් සංවේදී පුද්ගලික තොරතුරු වෙත ප්‍රවේශ වීම බලය අනිසි ලෙස භාවිතයට මග පෑදීමේ පැහැදිලි අවදානමක් පවතී. රැස් කරගන්නා තොරතුරු භාවිත වන්නේ කෙසේද යන්නද මෙම පනත මගින් පැහැදිලි කෙරෙන්නේ නැත.


මෙම යෝජිත නියෝජිතායතනය සම්බන්ධයෙන් ඇති අහිතකරම තත්වය නම් කිසිඳු පොදු කොමිෂන් සභාවකින් පාලනය වන්නේ නැත. එවැනි පාලනයක් තිබීම විනිවිදභාවයෙහි අනුකූලතාවටද, වගවීමට සහ යහපාලනයටද අත්‍යවශ්‍ය වන්නකි. මෙමගින් ව්‍යවස්ථාව තුළ තහවුරු කරන ලද ජනතාවගේ පුද්ගලිකත්වය සහ නිදහස අනතුරෙහි හෙළනු ලබයි.


තවත් ගැටළුවක් වන්නේ රජය විසින් රාජ්‍ය විගණනයට යටත් නොවන පුද්ගලික සමාගමක් පවත්වාගෙන යාම දේශපාලන බල අධිකාරිය යටතේ වංචා සහ දූෂණ මතුවීමට ඉඩ සැලසීමක් වීමයි. එවැනි උදාහරණ අප සතුව ඇත.


මෙම යාන්ත්‍රණයටම පෙරදී ආරම්භ කරන ලද පුද්ගලික සමාගම් ලෙස ක්‍රියාත්මක නියෝජිතායතනවල විනිවිදභාවයෙහි හා වගවීමෙහි මදබව දරුණු ලෙස විවේචනයට ලක්වනු පැහැදිලිව දැකගත හැක. ආරම්භ කරන ලද විශාල ව්‍යාපෘති ගණනාවක්ම ඇණහිටින ලදි. අපි තවදුරටත් සුදු අලියෙකු වීමට නියමිත ව්‍යාපෘති ආරම්භ කිරීම කරගෙන යා යුතුද?


තවමත් පැහැදිලි කර නොමැති ගැටළුකාරී තැන් ගණනාවක් මෙම යෝජිත ව්‍යූහය සහ මෙහෙයුම්, බලතල සහ සීමා, සිය ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය සහ වගවීම හා වපසරිය සහ තහවුරුව සම්බන්ධව පැන නැගී ඇත.


එබැවින් මෙම යෝජිත පනත සඳහා ක්‍රමවත් විශ්ලේෂණයක් අවශ්‍යව ඇත.

එය කඩිමුඩියේ හිතුවක්‌කාර ලෙස නොකර  පුලුල් සමාජමය පරිසරයක ජන අවශ්යතා අනුව කල යුතුය.  ඊට සාධාරණ කාලයක්‌ ගත යුතුය.


චීනයේ යතාර්ථය පිළිබඳ පැහැදිලි අවබෝධයෙන්, ශ්‍රී ලාංකික පුරවැසියන් තදින් සහ ගැඹුරින් මෙම සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත් අධ්‍යයනය කළ යුතුය. ඒ  මෙමගින් අන්තර්ජාල පාලනය සහ ආවේක්ෂණය වාණිජකරණය කරමින් ජනතාවට අන්තර්ජාලය තුළ සිය අදහස් ප්‍රකාශනයට ඇති පුද්ගලිකත්වයට සහ නිදහසට බලපෑම් කරනු ලබන බැවිනි.


පැහැදිලිවම සයිබර් ආරක්ෂණ පනත රජයට, බාහිර කිහිප දෙනෙකුට සහ  

යම් පුද්ගලික සමාගමකට ප්‍රයෝජනවත් වනු ඇත. නමුත් එය එසේ සිදුවුවහොත්  ජනතාව පමණක් එකම පරාජිත කොටස බවට පත්වනු ඇත.


නිරන්ජන් මීගම්මන

මහීෂ්වර කිරිඳිගොඩ

ශ්‍රී ලංකා අන්තර්ජාල සංගමය


යොමු:

යෝජිත සයිබර් ආරක්ෂණ පනත

චීන අන්තර්ජාල පාලනය

චීන සයිබර් ආරක්ෂණ පනත

ISOC සාකච්ඡාව

මහජන ප්‍රතිචාර


https://bit.ly/CyberSecurityActSL

Reply all
Reply to author
Forward
0 new messages