{සඳහම් සුවය} DhammaMedicine: ස්වෝත්සාහයෙන් නැගී සිටිමු (- පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ)

3 views
Skip to first unread message

Sadaham Suwaya

unread,
Apr 21, 2010, 10:09:27 AM4/21/10
to sadaha...@googlegroups.com
---------- Forwarded message ----------
From: Chinthaka Silva <chintha...@gmail.com>
Date: 2010/4/21
Subject: DhammaMedicine:::: Fwd: ස්වෝත්සාහයෙන් නැගී සිටිමු (- පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ)
To: dhammam...@googlegroups.com

CNV000014.jpg
ස්වෝත්සාහයෙන් නැගී සිටිමු

 ලෝකයේ බොහෝ දෙනෙකුට තමා තුළ ඇති කුසලතා ගැන වැටහීමක් නෑ. ඇත්තෙන් ම
ජීවිත අවබෝධයට වුවමනා කුසලතා තමා තුළ තිබෙන බව බැලූ බැල්මට පෙනෙන්නෙත්
නෑ. එ් නිසා බොහෝ දෙනෙක් කා බී සතුටින් ජීවත් වීමකින් පමණක් සෑහීමකට
පත්වෙනවා. තමන්ගේ ජීවිතය තුළ දියුණු කළ හැකි අංශ ගැන සොයා බලන්නෙ නෑ. එ්ක
අපගේ වරදක් නොවෙයි. එ් තමයි ස්වභාවය. අපි මෙතෙක් කල් සසරේ ඉපදෙමින්
මැරෙමින් මේ ගමන් කරන්නේ එ් නිසා ම යි.

 මොහොතක් සිතා බලන්න. පටාචාරා ජීවිතය ගැන හිතුවේ සමණලියක් වගේ. සිහින
ලෝකෙක ජීවත් වුනා. නමුත් අන්තිමේ දි මුහුණ දෙන්නට සිදුවුනේ සිහිනෙකින්
වත් නොසිතූ දෙයකටයි. ඇයට ජීවිතය ගැන කිසිම අවබෝධයක් තිබුනෙ නෑ. හැම දෙයක්
ම ඇයගෙන් අහිමි වෙද්දි, ඇගේ ජීවිතය කඩා ගෙන වැටුණා. ඇයගේ සිහි විකල්
වුණා. උමතු වුණා. ඇයට නො දැනීම ඇගේ ශරීරයෙන් වස්ත‍්‍ර ගැලවී ගියා. මහ
පාරේ හඬ හඬා දිව්වා. නමුත් බලන්න. ඇය තුළ ඇති කුසලතා කිසිවෙක් දුටුවේ
නැහැ. හැමෝම දුටුවේ ඇය පිස්සියක් කියල විතරයි. බුදුරජාණන් වහන්සේ ඇයගේ
ජීවිතයේ අභ්‍යන්තරයේ ඇති සෑම කුසලතාවයක් ම විනිවිද දුටුවා. ඇයට ආදරයෙන්
කථා කළා. පටාචාරාවට සිහිය ඉපදුණා. නැවත වස්ත‍්‍ර පොරොවගත්තා. ඇය ගෞතම
බුදු සසුනේ පැවිදි වුණා. භික්ෂුණියක් වුණා. ඇය උතුම් සීලයෙහි පිහිටියා.
සමාධිය දියුණු කළා. ඉතාම හොඳින් සතර සතිපට්ඨානය වැඩුවා. ඇය මාර්ග ඵල
පිළිවෙලින් අරහත්වයට පත්වුණා. ඇයට තමයි විනයධර භික්ෂුණීන් අතරින් අග
තනතුරු ලැබුණෙ. මොහොතක් සිතා බලන්න. ඇය තුළ සැඟ වී තිබූ එ් කුසලතා මතු
වූයේ   කෙසේද? ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඈට ලැබුණු නිසා නො වේද?

 කිසා ගෝතමිය ගැන සිතන්න. ඇයට සිටි එකම දරුවා මිය ගියා. දරුවාට අසීමිත
ලෙස ආදරය කළ මේ ආදරණීය අම්මාගේ සිත දරුවා වෙනුවෙන් හඬා වැටුණා. කිසා
ගෝතමිය දරුවා දෝතට ගෙන පාරක් පාරක් ගානේ හඬ හඬා ගියා. බුදුරජාණන් වහන්සේ
ඇයගේ ජීවිතයට අවබෝධය ලබා දුන්නා. ඇයත් භික්ෂුණියක් වුණා. මනා කොට ධර්මයේ
හැසිර අරහත්වයට පත්වුණා.

 සුනාපරන්ත නම් ඈත පිටිසර ගමක් තිබුණා. මේ ගමට කිසිවෙක් ගියේ නෑ. එ් ගමේ
මිනිසුන් ගැන නරක ආරංචි පැතිර තිබුණා. ඇත්තෙන් ම එ් මිනිස්සු හොඳ අය නම්
වෙන්න බෑ. නමුත් මේ ගමට යන්නට ස්වාමීන් වහන්සේ නමක් ඉදිරිපත් වුණා.
උන්වහන්සේ නම පුණ්ණ. උන්වහන්සේ සුනාපරන්තයට යෑම පිණිස බුදුරජාණන්
වහන්සේගෙන් අවසර ඉල්ලූවා. සුනාපරන්ත ගම්වාසීන්ගේ ඇති භයානක නපුර ස්වභාවය
බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. ජීවිත හානි පවා සිදුවිය හැකි බවට
අනතුරු ඇෙඟව්වා. පුණ්ණ ස්වාමීන් වහන්සේ එ් අභියෝගය සතුටින් භාරගෙන ඒ ගමට
වැඩියා. ටික දවසයි ගියේ. මාස කීපයක් ඇතුළත එ් සුනාපරන්ත ගම මුළුමනින් ම
වෙනස් වුණා. අර නපුරු මිනිසුන් තෙරුවන් සරණ ගියා. සමහර පැවිදි වුණා.
ශීලාදී ගුණධර්ම දියුණු කළා. එහෙම නම් එ් සිදු වූයේ කෙසේද? ඇත්තෙන් ම එ්
සුනාපරන්ත මිනිසුන් තුළ කුසලතා තිබුණා. එ් කුසලතා මතුවෙන ධර්මය අසන්නට
ලැබුණේ නෑ. යම් දිනයක යම් ධර්මයක් අසා ජීවිතාවබෝධය ලබයි ද, එදා සිට තමාගේ
කුසලතා ටිකෙන් ටික මතුවෙනවා.

 අධිමුත්ත රහතන් වහන්සේව බැලූ බැල්මට සොයන්ට බෑ. පොඩි ස්වාමීන් වහන්සේ
නමක්. දිනක් වනාන්තරයේ වඩිද්දී, උන්වහන්සේව හොරු අල්ලගත්තා. බිලි පූජාවකට
අරගෙන ගියා. උන්වහන්සේ තුළ කිසි තැතිගැනීමක් තිබුනෙ නෑ. උන්වහන්සේගේ
හැසිරීම ගැන හොරුන්ට පුදුමයි. උන්වහන්සේ අකම්පිතව සිටින්නේ කවර හාස්කමක්
නිසා දැ යි සොරුන් විමසුවා. අධිමුත්ත ස්වාමීන් වහන්සේ දෙසූ ධර්මය
සොරුන්ගේ ඇස් අරවන්නට ප‍්‍රමාණවත් වුණා. සොරුන්ගේ හිත සම්පූර්ණයෙන් ම
වෙනස් වුණා. ඔවුන්ගේ ආයුධ පැත්තකට වීසි කළා. තෙරුවන් සරණ ගියා. සමහරු
පැවිදි වුණා. රහතන් වහන්සේලා බවට පත්වුණා. මේ වෙනස වෙන්නෙ කොහොම ද? ගෞතම
බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසා නො වේ ද?

 බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිටි විවිධ තරාතිරම් වල මිනිසුන් ගැන අපට
දැනගන්නට ලැබෙනවා. ඔවුන් අතර භයානක සොරුන්, මිනීමරුවන්, මංකොල්ලකරුවන්
ආදී පිරිසත් ඉන්නවා. වෛශ්‍යාවන් වැනි කාන්තාවනුත් ඉන්නවා. එ් සෑම කෙනෙකුට
ම කිසිම බාධාවකින් තොරව ධර්මය අවබෝධ කරගන්නට පුළුවන් වුණා. මෙයින් අපට
පැහැදිලිව පෙනෙන්නේ ධර්මයට විවෘත වූ ජීවිතයක් ඇති කර ගැනීමෙන් අපගේ
කුසලතා වර්ධනය කරගත හැකි බවයි.

 කුසලතා වශයෙන් මෙතැනදී සලකන්නේ භාෂා ඥානය නොවේ. රැුකියා තරාතිරම නොවේ.
කලා කුසලතා නොවේ. ගායනා හැකියාව නොවේ. ඇඳුම් විලාසිතා නොවේ. චිත‍්‍ර ඇඳීම
ගැන නොවේ. ගෙවතු වගාව ගැන නොවේ. ව්‍යාපාරික කටයුතු ගැන නොවේ. මෙතනදී
කුසලතා වශයෙන් සලකන්්නේ හොඳ නරක වෙන් කොට දැකීමේ හැකියාව යි. යහපත අයහපත
වෙන් කොට දැකීමේ හැකියාව යි. පින පව වෙන් කොට දැකීමේ හැකියාව යි. මෙම
හැකියාව ඇත්තෙන් ම අප තුළ තියෙනවා. අප තුළ තිබෙන ඒ හැකියාව අප මතු කරගත්
විට අපට සිල්වත් කෙනෙක් වෙන්න පුළුවන්.

 හොඳ නරක වෙන් වශයෙන් දකින්ට නො හැකි විට එ් කෙනා හැම දෙයක් ම කරනවා. හැම
දෙයක් ම කියනවා.  ඕනෑම දෙයක් හොඳ නරක භේදයකින් තොරව හිත හිතා ඉන්නවා. ඔහු
තුළ වීරියක් ඇති වන්නේ නෑ. සිහි නුවණ වැඩෙන්නේ නෑ. සිත දියුණු වෙන්නෙ නෑ.
නමුත් එබඳු කෙනෙක් වුණත්, ධර්මය නිතර අසනවා නම්, ධර්මය නිතර සිහිකරනවා
නම්, හොඳ නරක දෙකේ ඇති වෙනස පැහැදිලිව ම වෙන් කොට හඳුනාගන්නවා. නරක බැහැර
කිරීම පිණිසත්, හොඳ දියුණු කිරීම පිණිසත්, මහන්සි ගන්නවා.

 සිල්වත් වීම කියන්නේ සුන්දර දෙයක්. සිල්වත් කෙනා සතුන් කෙරෙහි
කරුණාවන්තයි. අනුන් සතු දේවල් අවසරයකින් තොරව ගන්නෙ නෑ. එබඳු කෙනෙක්
තමන්ගේ බිරිඳ හැර වෙන ස්ත‍්‍රීන්ගේ ඇසුරට යන්නෙ නෑ. එ් වගේ ම බිරිඳක්
නම්, තමන්ගේ ස්වාමියා හැර වෙන  පුරුෂයින්ගේ ඇසුරට යන්නෙ නෑ. එ්ක උතුම්
ශීලයක්. එ් වගේ ම ලෝකය බොරුවෙන් රවට්ටන්නෙ නෑ. බොරු සාක්කි දෙන්නෙ නෑ.
මංගල උත්සවයක දී වේවා, වෙනත් උත්සවයක දී වේවා එබඳු කෙනා මත් පැන් බොන්නෙ
නෑ. මෙය සිල්වත් බවේ ලක්ෂණයක්. මේ කෙනා මේ ශීලය මුල්කොට ගෙන තමා හුවා
දක්වන්නෙ නෑ. අනුන් හෙලා දකින්නෙත් නෑ.

 උතුම් සීලයක් සඳහා යම්කිසි අවබෝධයක් අවශ්‍ය යි. එ් අවබෝධය ලැබෙන්නේ
ශ‍්‍රද්ධාව තුළිනු යි. ශ‍්‍රද්ධාව කියන්නේ අන්ධ භක්තිය නො වෙයි. අන්ධ
භක්තිය තියෙන කෙනා නුවණින් නො විමසා  ඕනෑම දෙයක් පසුපස යනවා. ශ‍්‍රද්ධාව
කියන්නේ එයට වෙනස් දෙයක්. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ඉතාමත්
ම පරිපූර්ණ එකක් බවට පැහැදීමකින් යුතු නම්, එ්ක තමයි ඔහු තුළ ඇති
ශ‍්‍රද්ධාව. එ් ශ‍්‍රද්ධාව ඇති කෙනා බුදුරජාණන් වහන්සේගේ ගුණ එකින් එක
මෙනෙහි කරන්නට දක්ෂ වෙනවා. එ් වගේ ම එ් ගුණ ගැන හිතේ මහත් පැහැදීමක්
ඇතිකරගන්නවා. නුවණ මෙහෙයවීමෙන් තොරව මේ වැඬේ කරන්න බෑ. එහෙමනම්
ශ‍්‍රද්ධාවන්තයා ඤාණවන්තයෙන් නේ ද?

 සමහරු ධර්මය ඉගෙන ගන්නවා. එ් තමන්ව හුවා දැක්වීමට යි. අනුන්ව හෙලා
දැකීමට යි. ධර්මය ඉගෙන ගෙන පොඩි පොඩි කොටස් මතක තබා ගන්නවා. ඊට පස්සේ මහා
නුවණැති කෙනෙක් වගේ පෙන්වමින් වාද කරනවා. එවැනි හිස් මිනිසුන්ට කිසි දවසක
ජීවිතාවබෝධයක් ලබා ගන්නට පුළුවන් වෙන්නෙ නෑ. තමන්ගේ ප‍්‍රතිරූපය හුවා
දක්වගන්නා අදහසින් ධර්මය සමඟ වාද උපදවා ගන්නට ගියොත් ඔහුට ලැබෙන්නේ
පිරිහීම විතරයි. වාද පිණිස ධර්මය ඉගෙන ගන්නට එය විෂ සහිත භයානක
සර්පයෙකුගේ නැට්ටෙන් ඇල්ලීම වැනි දෙයක් බවට බුදුරජාණන් වහන්සේ පෙන්වා
දෙන්නේ එ් නිසයි.

 ඇත්තෙන් ම තෙරුවන් සරණ යෑම කියන තරම් ම ලේසි නෑ. කවුරුත් කියන්නන් වාලේ
කිව්වට සරණ පිහිටන්නෙ නෑ. තෙරුවන් සරණ පිහිටන්නේ බුදුරජාණන් වහන්සේ ගැන
නුවණින් මෙනෙහි කරලා සිතේ පැහැදීම ඇතිකරගෙන අවබෝධයක් තුළින් සරණ ගියොත්
විතරයි. ධර්මය ගැනත් එහෙමයි.

 ධර්මය කියන්නේ බුද්ධ දේශනා පාඩම් කිරීම පමණක් නො වෙයි. එ් පාඩම් කළ
ධර්මය සිතෙන් මෙනෙහි කිරීම පමණක් නො වෙයි. එය ප‍්‍රායෝගිකව පුහුණු කිරීම
යි. ධර්මය ගැන මේ විදිහට තේරුම් ගන්න. යහපත් කරුණු වලට විරුද්ධ වීම
අධර්මය යි. සාධාරණත්වය පෙනි පෙනී හිතුවක්කාර වීම අධර්මය යි. යහපත් උපදේශ
වලට අකීකරු වීම අධර්මය යි. කරුණාවෙන් දෙන උපදෙස් වලට විරුද්ධ වීම අධර්මය
යි. එකට එක කිරීම අධර්මය යි. බද්ධ වෛරය ඇති කරගැනීම අධර්මය යි. කේලාම්
කීම අධර්මය යි. පිරිස් කෙටවීම අධර්මය යි. අනුන්ට ඊර්ෂ්‍යා කිරීම අධර්මය
යි. අනුන්ට ගැරහීම අධර්මය යි. අනුන්ට නින්දා අපහාස කිරීම අධර්මය යි.
ධර්මය පෙනි පෙනී අධර්මයට කැමති වීම අධර්මය යි. ප‍්‍රධානත්වය අපේක්ෂාවෙන්
අරගල ඇති කිරීම අධර්මය යි. තමා හුවා දැක්වීමේ අපේක්ෂාවෙන් අර්බුද ඉපදවීම
අධර්මය යි. යහපත් අවවාද දෙන ගුරු දෙගුරුන්ට හිස නො නැමීම අධර්මය යි. ලාභ
සත්කාර වලට ගිජු වී එ් මත්තේ හැපෙමින් මිත්‍යා ජීවිකාවෙන් ධනවත් වීම
අධර්මය යි. මෙවැනි අධර්ම ගති ලක්ෂණ සියල්ල සසරට වැටුණු සිතක සාමාන්‍ය
ස්වභාවය වශයෙන් තිබෙන බව ලොව දෙස බලද්දී පැහැදිලිව පෙනෙයි. මෙවැනි
අධර්මයෙන් සැකසුන අකුසල් හඳුනාගෙන සැණෙකින් ම බැහැර කළ හැකි නම්, ඔහු තුළ
ධර්මය පිහිටයි. ඔහු තුළ ධර්මය මතුවෙයි. ඔහු තුළ ධර්මය පිළිසරණ ඇති වේ.

 මේ නිසා මෙම වෙසක් සමයේ ඔබට කුමක් කළ හැකි ද? ඔබ අවබෝධයෙන් ම තෙරුවන්
සරණ යන්න. බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන නුවණින් විමසමින් සිත පහදවා ගන්න.
ධර්මය ගැනත් නුවණින් විමසමින් සිත පහදවා ගන්න. මාර්ග ඵල ලාභී සංඝරත්නය
ගැනත් නුවණින් විමසමින් සිත පහදවා ගන්න. එය ඔබගේ මූලික රැුකවරණය යි. ඊළඟට
ඔබ සිල් පද පහ සමාදන්ව හොඳින් ආරක්ෂා කරගන්න. එය ඔබගේ ඊළඟ රැුකවරණය යි.
හැකි පමණින් දන් දීම පුරුදු කරන්න. බුද්ධ දේශනා ඉගෙන ගන්න. හැබැයි වාද
කරන්නට නො වෙයි. සිත පහදවා ගැනීම පිණිස යි. ඊළඟට තමන්ගේ සිතේ ස්වභාවයත්,
කුසල් අකුසල් බලපවත්වන ආකාරයත්, එයින් අකුසල් බැහැර කිරීමත්, කුසල් උපදවා
ගැනීමත් ගැන යම්කිසි උත්සාහයකින් යුතු වැඩපිළිවෙලක යෙදෙන්න. එවිට ඔබ
ටිකෙන් ටික ධර්මයට පැමිණේවි. සිදුරු නැති කලයකට බින්දුව බින්දුව නමුත්
වතුර වැටේ නම් කලක් යන විට එම කලය පිරෙනවා  නො වේද?

- පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ


--
You received this message because you are subscribed to the Google
Groups "සඳහම් සුවය" group.
To post to this group, send email to sadaha...@googlegroups.com
To unsubscribe from this group, send email to
sadahamsuway...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/sadahamsuwaya?hl=si
Visit our website
http://www.sadahamsuwaya.tk
CNV000014.jpg
Reply all
Reply to author
Forward
0 new messages