පුද්ගලයකුගේ වැදගත්ම ලක්ෂණය වන්නේ උදාර වූ චරිතයයි. ගුණදහමින්, මිනිස්කම්වලින් පිරි පුද්ගලයා තමාටත්, අනුනටත් මහත් වූ අස්වැසිල්ලකි. තමාටත්, අනුන්ටත් එකසේ ප්‍රයෝජනවත්ව හැසිරෙන්නා දුලබ කෙනෙකි. එවැන්නා සත්පුරුෂයෙකි. ඉහතින් පෙන් වූ සූත්‍රයෙන් සැබෑ සත්පුරුෂයාත්, සත්පුරුෂ ලක්ෂණත් මොනවට පැහැදිලි කරයි.
“සප්පුරිසො භික්ඛවෙ කූලෙජාය මානො බහුනො ජනස්ස අත්‍ථාය,හිතාය, සුඛඛාය හොති. මාතා පිතුනනං, පුත්තදාරස්ස, දාසකම්ම කර පොරිසස්ස, මිතතා මචඡානං සමණ බ්‍රාහමණනං අක්‍ඨාය, හිතාය, සුඛාය හොති.”
මහණෙනි, යම් කිසි කුලයක උපදින සත්පුරුෂයා බොහෝ දෙනාට හිත පිණිස, සුව පිණිස, අර්ථය පිණිස ක්‍රියා කරයි. විශේෂයෙන් තම මව්පියන්ට අඹුදරුවන්ට, දාස කම්කරුවන්ට, යහළු හිතමිත්‍රයන්ට, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ආදි වශයෙන් ඔහු තමන්ගේ සේවය, යුතුකම් හා වගකීම් ඉටු කරයි.
“සෙය්‍යථාපි භික්ඛවෙ මහා මෙඝො සබ්බ සස්සානි සමපා දෙනෙතා. බහුතො ජනස්ස අත්‍ථාය හිතාය සුඛාය හොති. එව මෙව ඛො භික්ඛවෙ සප්පුුරිසො කුලෙ ඡායමානො බහුනො ජනස්ස අත්‍ථාය, හිතාය සුඛාය හොති”
මහණෙනි, සත්පුරුෂයා අන් අයගේ හිතසුව අර්ථය පිණිස කටයුතු කරන්නේ කෙසේ ද ? දීර්ඝ කාලයක් පුරා පැවැති දැඩි නියඟය හමාර කරමින් ගංඟා, ඇළ, දොල, ජලාශ, විල්, පොකුණු ආදිය පිරී ඉතිරී දෙගොඩ තලා යන තරමින් වසින්නා වූ මහා වර්ෂාව මෙනි. ඒ වැස්සෙන් සැම කෙනෙකුටම ඇතිවන සිසිලස හා සහනය අපමණයි. ගහකොළ, කෙත් වතු ඵල බරවී, සශ්‍රීකව වැඩෙත්. සියලු සතුන් හා පරිසරය ද පී‍්‍රතිමත් වෙති.
සත්පුරුෂයාව බුදුරජාණන් වහන්සේ හඳුන්වා ඇත්තේ නිකන්ම වැස්ස මෙන් නොව, දිගු කලක් පැවැති නියඟය නිමවා ඇද හැලෙන (මහා මේඝයි) මහා වැස්සක් මෙනි. එය සත්පුරුෂයා හඳුන්වන වැදගත් උපමාවකි. මහා වැස්සකින් සලසාදෙන සහනය කෙසේ ද? එපරිද්දෙන් පුද්ගලයා විසින් තම මව්පියන්ට යුතුකම් ඉටු කළ යුතුයි. දෙමව්පියන් අපට කළ හා කරන සේවය කෙසේ නම් උපමා කරම් ද? මව්පියන් නොවන්නට අපිට මිනිස් ජීවිතයක් කෙසේ ලබන්න ද? සියලු දූදරුවන්ව තම මව්පියන් කෙරෙහි අපමණ ගෞරවය, ආදරය , සෙනෙහස දැක්විය යුතුයි. එය දරුවන්ගේ යුතුකමක් මෙන්ම වගකීමක් ද වෙයි.
උදාර වූ සත්පුරුෂයා තමන්ගේ බිරිඳට, දූදරුවන්ට ද අපමණ ආදරය , සෙනෙහස, කරුණාව, ආරක්ෂාව හා පෝෂණය ද නොපිරිහෙලා ඉටු කරයි. එලෙස කටයුතු කරන්නා සත්පුරුෂයෙකි. ඔහු තම බිරිඳට හා දූදරුවන්ට දෙවියෙකි. උදාරතර පුරුෂෝත්තමයෙකි. ඔහු සැබෑවටම සත්පුරුෂයෙකි.
බොහෝ විට නූතනයේ ස්වාමියා බිරිඳ මාපිය දූදරු සබඳතා බිඳ වැටීමේ හේතු ලෙස යුතුකම් ඉටු නොවීම බලපා තිබේ. සතුන් මෙන් හැසිරීම ඇතැම් පුද්ගලයන්ගේ ගතියකි. ඒ අය නිසා ගෙදර දොරත් , පවුල් අතරත් ඇතිවී තිබෙන විරසකවීම් බොහෝමයි. ලාංකික සමාජයේ දිනකට දික්කාසදවීම් තුන්සියයක් බව වාර්තාවල දැක්වේ. මෙය අතිශය ඛේදජනක තත්ත්වයකි.
තමන්ගේ යහළු මිත්‍රයන්ට දාස කම්කරුවනට , ඥාතීන්ට ද තම යුතුකම් මැනවින් ඉටු කිරීම සත්පුරුෂයෙකුගේ ලක්ෂණයකි. මිත්‍රයන්ද විවිධාකාරය. ඔවුන් හඳුනාගෙන ඇසුරු කිරීම වටී. විශේෂයෙන් සමාන සුඛ දුක්ඛ මිත්‍රයා උදාර කෙනෙකි. මිතුරාගේ දුක, සැප දෙකේදීම පිහිටට සිටින මිතුරා වැදගත් වේ. ඔහු වැනි අයට තමන්ගේ කාලය , ශ්‍රමය, ධනය වැය කිරීම අතිශය වැදගත් වේ. තමන්ට සේවය සලසන දාස කම්කරු ජනතාවට නිසි වැටුප් දීම, ආහාරපාන, බෙහෙත්හේත් ලබාදීම වගේම ඔවුන්ගේ දුක, සැප දෙකේදීම එකලෙස පිහිටවීම උදාර ස්වාමියෙකුගේ ලක්ෂණයකි. ඔහු සත්පුරුෂයෙකි. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ද, සත්පුරුෂයා මෙහෙ කරන්නේ තිදොරින්මය. මනා සංයමයකින් හා කර්මය, කර්ම ඵළ විශ්වාස කොටගෙන හෙතෙම පූජක පක්ෂයට සැලකීම කරයි. ඒ දෙලොවම තමන්ට සහනය සැලසෙන බවට ඇති විශ්වාස නිසා ය.
නියම සත් පුරුෂයා අන් අයට සේවය සලසන්නේ තමන්ගේ දේපළ පවා පරිත්‍යාග කරමිනි. ඔහු සතු උපබෝග, පරිභෝග , සම්පත් කෙරෙහි ඇල්මක් නොමැතිව ඒවා අලෙවිකොට හෝ සත්පුරුෂයා තම සේවය අනුන් වෙනුවෙන් සිදු කරයි. නිරතුරුවම සත් පුරුෂයා ගුණධර්ම මත පිහිටයි. ඔහු දසකුසල්ම වඩයි. පාපයට, ලජ්ජා බිය ඇති කරගනී. ධර්මයෙහි පිහිටයි. සිල්වත්වෙයි. සත්‍යවාදීය. අකුසල් කිරීමට මැලිවෙයි. දෙමාපියන්, අඹුදරුවන්, නෑදෑ හිතමිතුරන්, දාස කම්කරුවන්, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට මෙන්ම ගහකොළ, ඇළදොළ, ගංගා ජලාශ හා සතා සිව්පාවාට පවා ඔහු කිසිදු වරදක් නොකරයි. හුදෙක් තමන්ගේ දිවි පරදුවට තබා මෙහෙ කිරීම ඔහුගේ විශිෂ්ට පරමාර්ථයයි. ඒ නිසාම ඔහුට නිරතුරුවම දෙවියන්ගේ ආරක්ෂාව, පිහිට ලැබේ.
මෙනයින් කරුණු සලකා බලන කළ බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙන සත්පුරුෂයා හා ඔහු සතු උදාර ගුණාංග හඳුනා ගැනීම වටී. සත්පුරුෂයෙකුවීමට සිතන ඔබද මෙකී ගුණදහමින් ජීවිතය අලංකාර කර ගන්න. ඒ සඳහා බුද්ධ චරිතය අපට මහඟු ආදර්ශයක්ම සපයයි.
“ධම්මට්ඨං සීල සම්පන්නං - සච්චවාදිං හිරීමනං”
සිල්වත්වූ, ධර්මයෙහි පිහිටියාවූ සත්‍යවාදී වූ අකුසලයට මැලිවූ සිත් ඇති සත්පුරුෂයාව දෙවියො රකිති මහ බඹහු ප්‍රශංසා කරයි.
වෙන්නවත්තේ රතනජෝති හිමි
දෙකටන නාමළුව පුරාණ විහාරාධිකාරී
--
Posted By හේම ජයන්ත කොළඹගේ to
---ජයන්තගේ අවකාශය--- at 6/08/2014 09:32:00 PM