“සෝ භගවා අරහං හතත්තා ඉතිපි අරහං”
ඒ භාග්‍යවතුන් වහන්සේ සංසාර චක්‍රයේ (කම්ම වට්ට, විපාක වට්ට, ක්ලේශ වට්ට) සිඳ බිඳ දැමු බැවින් අරහං නම් වන සේක. අනාදිමත් සංසාර ගමනකට හේතු වූ කර්මය, විපාක, ක්ලේශ සියල්ල සිඳ බිඳ දැමූ නිසා අරහං නම් වන සේක. අනාගත සංසාර ගමන මුළුමනින්ම නතර කළා. නැවත කුසල් අකුසල් හට ගැනීම සම්පූර්ණයෙන් නැති කළා. පුනර්භවය නැති කළා. නැවත ඉපදීමක් උන්වහන්සේට නැහැ. එම නිසා උන්වහන්සේ අරහං නම් වන සේක. සියල්ලටම සුදුසු වූ අවස්ථාවේ පී‍්‍රති වාක්‍යයක් උන්වහන්සේ වදාළහ.
අනේකජාති සංසාරං සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තෝ දුක්ඛජාති පුනප්පුනං
ගහකාරක දිට්ඨෝසි පුනගේහං න කාහසි
සබ්බා තෙ ඵාසුකා භග්ගා ගහකූටං විසංඛිතං
විසංඛාර ගතං චිත්තං තණ්හානං ඛය මජ්ඣගාති
මේ උදාර පී‍්‍රති වාක්‍යයක්. මුළු මහත් සංසාර ගමන ගැන කියවෙනවා. ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේක. ඒ අරහං ගුණයෙන් සමන්වාගත වූ බුදුරජාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා.
“සෝ භගවා අරිය මග්ගෙන අවිජ්ජා අරානං හතත්තා ඉතිපි අරහං”
ඒ භාග්‍යවතුන් වහන්සේ ආර්ය මාර්ගයෙන් අවිද්‍යාව අරසිඳලු හෙයින් අරහං නම් වන සේක.
සම්මා දිට්ඨි – නිවැරදි ප්‍රඥාව
සම්මා සංකප්ප – නිවැරදි අදහස්
සම්මා වාචා - නිවැරදි වචන
සම්මා කම්මන්ත – නිවැරදි කර්මාන්ත
සම්මා ආජීව - නිවැරදි දිවිපෙවත
සම්මා වායාම – නිවැරදි උත්සාහය
සම්මා සති – නිවැරදි සිහිය
සම්මා සමාධි – නිවැරදි සමාධිය
මේ අංග අට ආර්ය මාර්ගයට ඇතුළත් වෙනවා. අනන්ත බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලා මේ උතුම් මාර්ගයේ ගමන් කරලා අමා මහා නිවනට වැඩියා. මේ උතුම් මාර්ගයෙන් අවිද්‍යාව හෙවත් මෝහය නැති කළ යුතුයි. නිවැරදි මග යන කොට මෝහය ඉවත් වෙනවා. මෝහය තිබෙන තුරු සසර නැවත නැවත උපදිනවා. ප්‍රථමයෙන් කළ යුතු වන්නේ අවිද්‍යාව නැති කිරීමයි. අවිද්‍යාව නැති කළ බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේක. උන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා.
“සෝ භගවා මග්ගේන සංඛාර අරානං හතත්තා ඉතිපි අරහං”
ඒ භාග්‍යවතුන් වහන්සේ ආර්ය මාර්ගයෙන් සියලු සංස්කාර සිඳ බිඳලු හෙයින් අරහං නම් වන සේක. හේතුවකින් හට ගන්නා සියලුම දේවල් සංස්කාර නම් වෙනවා.
පුඤ්ඤාභි සංඛාර – කුසල්
අපුඤ්ඤාහි සංඛාර – අකුසල්
අනේකජාහි සංඛාර – අරූපාවචර කුසල්
මේවාට ද සංඛාර කියනවා - සියලු චෛතසික රූපවලට ද සංඛාර කියනවා. ගස් ගල් පර්වත, ඉර හඳ, තාරකා, මහා සමුද්‍රය ආදී මහා වස්තුවලට ද සංඛාර කියනවා. කුඩා ගල් කැටවලට ද සංඛාර කියනවා. මෙතන සංඛාර කියලා කියන්නේ පින් පව් දෙකට. කුසල් අකුසල් නම් වූ සංඛාර ආර්ය මාර්ගයෙන් සිඳ බිඳ දැමූ බැවින් අරහං නම් වන සේක. ඒ අරහං ගුණයෙන් සමන්වාගත වූ ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා.
“සෝ භගවා අරිය මග්ගෙන විඤ්ඤාණ අරානං හතත්තා ඉතිපි අරහං”
ඒ භාග්‍යවතුන් වහන්සේ ආර්ය මාර්ගයෙන් විඤ්ඤාණය සිඳ බිඳලූ හෙයින් අරහං නම් වන සේක. විඤ්ඤාණයට සියලුම සිත් ගැනෙනවා. කුසල්, අකුසල්, විපාක ක්‍රියා යන සියලුම දේවල් සිඳ බිඳ දැමූ බැවින් අරහං නම් වෙනවා.
සියලු සිත් 89
අකුසල් සිත - 12
කුසල් සිත - 21
ක්‍රියා සිත් - 20
විපාක සිත් - 36
- 89
සියලුම සිත් විඤ්ඤාණය නම් වෙනවා. විශේෂයෙන් ප්‍රතිසන්ධි විඤ්ඤාණය මෙහිදී ගනු ලැබෙනවා. ප්‍රතිසන්ධි ලබා දෙන සිත් සංඛ්‍යාව 19 ක් වෙනවා.
ප්‍රතිසන්ධි සිත් 19
අපාය පටිසන්ධි සිත් 1
අහේතුක පටිසන්ධි සිත් 1
සුගති පටිසන්ධි සිත් 8
රූපාවචර පටිසන්ධි 5
අරූපාවචර පටිසන්ධි 4
19
ප්‍රතිසන්ධිය ලබාදෙන විඤ්ඤාණය අරසිඳළු හෙයින් අරහං නම් වන සේක. ඒ අරහං ගුණයෙන් සමන්වාගත වූ තෛ‍්‍රලෝක තිලක සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා.
“සෝ භගවා අරිය මග්ගේන නාම රූප අරානං හතත්තා ඉතිපි අරහං”
ඒ භාග්‍යවතුන් වහන්සේ ආර්ය මාර්ගයෙන් නාම රූප අරසිඳළු හෙයින් අරහං නම් වන සේක. නාමය යනු වේදනා, සඤ්ඤා, සංකාර, විඤ්ඤාණ යන ස්කන්ධ හතරයි. රූප යනු, රූප විසි අටයි (28) පඤ්චස්කන්ධයට නාම – රූප කියලා කියනවා. අභිධර්ම ක්‍රමයට අනුව සිත් 89 ද, චෛතසික 52 ද, රූප 28 ද නාම රූප නම් වෙනවා. මේ සියල්ල නැවත උපත පිළිබඳ හේතු වෙනවා. ඒ සියල්ල ප්‍රහාණය කළ නිසා භාග්‍යවතුන් වහන්සේ අරහං නම් වෙනවා.
පරමාර්ථ වශයෙන් නාම, රූප කියා දෙයක් නැහැ. සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්‍ෂණ වලට වැටෙනවා. ගත යුතු කිසිම දෙයක් නාමරූප ධර්ම තුළ නැහැ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ධාතු සතරකට බෙදී යනවා. මේ සියල්ල භාග්‍යවතුන් වහන්සේ දැන අවබෝධ කර ගත්තා. ආර්ය මාර්ගයේ ගමන් කළ බැවින් නාමරූප ධර්ම සියල්ල සිතින් බැහැර කළා. නැවත පුනුරුත්පත්තියක් ගෙන දීමට බැහැ. නාමරූප දෙක වටහා ගැනීම ලෙහෙසි පහසු නැහැ. එතරම් ගැඹුරුයි. ඒ ගැඹුරු ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව ලැබුනේ විසි අසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පුරන ලද පාරමී ධර්ම බලයෙනුයි. ඒ ධර්මය අවබෝධකරගත් බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේක. ඒ අරහං ගුණයෙන් යුක්ත වූ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධ රාජෝත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
“සෝ භගවා අරිය මග්ගෙන සළායතන, අරානං හතත්තා ඉතිපි අරහං”
භාග්‍යවතුන් වහන්සේ ආර්ය මාර්ගයෙන් සලායතන අරසිඳළු හෙයින් අරහං නම් වන සේක. ආයතන කියලා කියන්නේ යමක් නිෂ්පාදනය කරන ස්ථානයටයි. ඒ වාගේ අපගේ ශරීරයෙන් ද ස්ථාන 6 කින් නිෂ්පාදනය කරනවා. සියලුම කුසල් අකුසල් රැස් කරන ස්ථාන හයක් තිබෙනවා.
1. චක්ඛායතනය
2. සෝතායතනය
3. ඝාණායතනය
4. ජීවිහායතනය
5. කායායතනය
6. මනායතනය
ඇසින්, කණින්, නාසිකාවෙන්, දිවෙන්, කයින්, සිතින් සියලු කුසල් අකුසල් උපදිනවා. එමඟින් සංසාරය දික් වෙන බැවින් මහා බෝසත්වරු එයින් නිදහස් වීමට කල්පනා කළා. ඒ නිසා ඒ සියල්ල ප්‍රහාණය කළා. මහ රහතන් වහන්සේගේ ඇසින්, කණින්, නාසිකාවෙන්, දිවෙන්, කයින්, සිතින්, කුසල් අකුසල් හටගන්නේ නැහැ. ඒ සියල්ල ප්‍රහාණය කළා. එම ආයතනය හය විදර්ශනාවට ගන්නා ආකාරය ද බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍රවල පහදා දී තිබෙනවා.
කහගොල්ලේ සෝමවංස හිමි