බුදුන් වහන්සේගේ එක් දේශනාවක්, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් කවියට නැගුවේය. මේ කවිය කාලෝ ෆොන්සේකා සහ තවත් අයෙක් මීට දශක හතරකට පමණ පෙර සිංහලට පරිවර්තනය කළහ. ඒ මෙසේය:
‘‘තණ්හාවේ දෝසේ- දුටු බුදුන් වහන්සේ
තණ්හාව නසා- විමුක්තිය පතා
නිවන් මග මේ යැයි- පෙන්වා දුන් සේක.
ඉක්බිතිව දවසක්, ගෝලයෝ පිරිසක්
ඇසුවෝය හිමිගෙන්, එක්තරා පැනයක්:
‘තණ්හාව හළ විගස, සැණයකින් අප ලබන
ඔබ කියන ඔය නිවන කෙබඳුදැ යි කියනු මැන.
එවිට අප සියලූ දෙන- තණ්හාව නසනු ඇත.
බඹ ලොවට පිවිසීම වාගේද නිවන් සුව
ඉර මුදුන් වෙලාවේ, විලක් මැද තනි වෙලා - කුසීතව පාවෙමින් සිටින්නා වාගේද
ඔබ කියන ඔය නිවන, පැහැපත් ද පියකරු ද- නොඑසේ නම් එය- සිත නැති කය නැති - කිසිම දෙයක් නැති දෙයක්දෝ ස්වාමීනි?
මෙය ඇසූ හිම සඳ - හෝරා ගණනක් වැඩ හිඳ නිසලව - කීවේ මෙලෙස ය:
‘ඔබ ඇසූ පැනයට- පිළිතුරු නැත මට’.
එහෙත් එම දිනයේ- සැන්දෑ සමයේ
බෝ රුක් සෙවණේ වැඩ සිටි සමිඳා
පැන ඇසූ සිය සිසු පිරිස ගිය පසු
එහි සිටි සෙසු දන සැම අමතාලා- දෙසූහ මේ සුළු කතාව උපමා:
‘දවසක් මම ගෙයක් දුටිමි- එය ගින්නට හසුව තිබුණි
රත් පැහැ ගත් ගිනි ජාලා එහි පියසින් උසට නැගුණි
එහි තුළ මම දනන් දුටිමි- දොර හැර ඔවුනට හඬගා පිටවන්නැ යි මම කීවෙමි.
එහෙත් එදන සැලූණේ නැත- හදිසි බවක් පෙන්නුවෙ නැත.
එක් අයෙකුගේ රැුවුල පවා පිළිස්සෙද්දි ඔහු ඇසුවේ-
ගෙයින් පිටත මීට හොඳද- වැසි වසීද සුළඟ තදද- දැවෙන නිවෙස දමා ගොසින්- ඉන්න ගෙයක් තියෙනවාද?
මෙවැනි ප‍්‍රශ්න රාශියක් ය.
මම පිළිතුරු නොදී ඔහුට- නැවත වරක් වුණෙමි නිහඬ.
මට සිතුණා මේ දරුවන් නගන ප‍්‍රශ්න නවත්තන්නේ- ගින්නෙන් නැසුණාම කියා’.
‘සත්තකින්ම ප‍්‍රිය දරුවනි,
යම් මිනිසකු පොළෝ තලේ- තැබූ දෙපා දැවෙන තුරා
වෙන තැනකට නොයාවි නම්
ඒ දන හට සරණ යන්න-බණක් නැතිය මට කියන්න’’.
එලෙසයි අප හිමි ගෞතම පිළිතුරු දුන්නේ පෙර කල.’’
(බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්)