දින දහසයක් පුරා ලෝකයක නෙතු තමන් වෙත ඇද බැඳ තබාගත් කෙළිබිමේ මහා මංගල්‍යය, 31 වෙනි ඔලිම්පියාඩය, අගෝස්තු 21 වෙනිදා (ශ්‍රී ලංකා වේලාවට අනුව නම් අගෝස්තු 22) බ්‍රසීලයේ රියෝ ඩි ජැනයිරෝ නුවර මරකානා ක්‍රීඩාංගණයේ දී අති උත්කර්ෂවත් අයුරින් නිමාව දුටුවා. සමාරම්භක උළෙලට නොදෙවෙනි අයුරින් සංවිධානය කර තිබූ සමාප්ති උළෙල බ්‍රසීලයටම ආවේණික වූ සැණකෙලියක සිරි ගත් බවයි එය නැරඹූ සැවොම පවසන්නේ.





එවන් අසිරිමත් ඔලිම්පික් උළෙලේ තතු වෙත යලිත් වරක් හැරී බලන්නටයි අපේ මේ සූදානම
රටවල් 206ක්, නිදහස් ක්‍රීඩකයන්ගේ ඔලිම්පික් කණ්ඩායමක්, සහසරණාගතයන්ගේ කණ්ඩායමක් නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්11,303 දෙනෙකු මෙවර ‘රියෝ 2016’ ඔලිම්පික් උළෙලේ දී සිය රට දිනවීමේ අරමුණින් යුතුව තරඟ වැදුණා.
ඒ අතරින් පදක්කම් සටහනේ පෙරමුණට පැමිණියේ ඇමරිකා එක්සත් ජනපදයයි. ඒ, රන් පදක්කම් 46ක්, රිදී පදක්කම් 37ක්, සහ ලෝකඩ පදක්කම් 38ක් ඇතුළුව, සමස්ථ පදක්කම් 121ක් තමන් සතු කරගනිමින්. දෙවන ස්ථානය හා තෙවන ස්ථානය පිළිවෙලින් මහා බ්‍රිතාන්‍යයට සහ චීනයට හිමි වුණා. සත්කාරක බ්‍රසීලය පදක්කම් සටහනේ 13 වන ස්ථානය දිනා ගත්තේ රන් පදක්කම් 7ක් සමඟ සමස්ථ පදක්කම් 19ක් දිනා ගනිමින්.
පදක්කම් සටහනේ ඉදිරියෙන්ම සිටින රටවල් 10 පහත රූප සටහනේ දැක්වෙනවා.

පදක්කම් ලබා ගැනීමට සමත්වූ සියළුම රටවල් පහතින් දැක්වෙනවා.


මෙම සටහනෙන් දැක්වෙන්නේ මහාද්වීපයන් අනුව පදක්කම් බෙදී ගිය අයුරුයි.

ක්‍රීඩකයන් 09 දෙනෙකු හා නිලධාරීන් 40 දෙනෙකු සමඟ රියෝ ඩි ජනයිරෝ බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට එකදු පදක්කමක් හෝ හිමි කරගැනීමට හැකි වූවේ නැහැ. දකුණු ආසියානු කලාපය වෙනුවෙන් පදක්කම් දිනාගත්තේ ඉන්දියාව පමණයි. ඒ, කාන්තා කේවල බැඩ්මින්ටන් ඉසව්ව වෙනුවෙන් රිදී පදක්කම සහ පිරිමි මල්ලව පොර තරඟයෙන් ලෝකඩ පදක්කම ආදී වශයෙන්.

ඔලිම්පික් ඉතිහාසයේ ප්‍රථම වරට සරණාගතයන්ගේ කණ්ඩායමක් මෙවර ඔලිම්පික් ධජය යටතේ තරඟ වැදුණා. මැද පෙරදිග කලාපයේ, විශේෂයෙන්ම සිරියාවේ සහ ඉරාකයේ ඇවිලෙමින් පවතින යුධමය වාතාවරණය හේතුවෙන් යුරෝපයට පලා ආ තරුණ තරුණියන් 10 දෙනෙකු ‘රියෝ 2016’ කෙළිබිමේ දක්නට ලැබුණා.
දේශ සීමා නොමැතිව එසේ අවතැන් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත කණ්ඩායමක් ඉදිරිපත් කරන්නට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කළේ මේ වසරේ මුල් භාගයේදී යි. ඒ, සරණාගත ගැටළුව පිළිබඳව ලෝකයේම අවධානය යොමු කරවීමේ අරමුණින් සහ යුද්ධයෙන් පීඩාවට පත්ව තම උපන් බිම් අත්හැර නාඳුනන භූමීන් කරා පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සිහින සැබෑ කරගැනීමට අවස්ථාවක් ලබා දීම වෙනුවෙන්.
ඔවුන්ට මෙවර පදක්කම් ලබා ගැනීමට නොහැකි වුවත්, ක්‍රීඩා පිටිය තුල ඔවුන් දැක්වූ දක්ෂතාවන් කැපී පෙනුණ බව කිව යුතුයි.

බොහෝ දෙනෙක් මෙම කණ්ඩායම සරණාගතයන්ගේ කණ්ඩායම යැයි වරදවා වටහා ගන්නවා. නමුත් එම කණ්ඩායම් දෙක සමාන වන්නේ නැහැ.
විවිධ හේතූන් මත ඔලිම්පික් කමිටුව විසින් ඔලිම්පික් සඳහා තරඟ වැදීම තහනම් කර ඇති රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් ධජය යටතේ තරඟ වැදීමට අවස්ථාවක් ලබා දීමයි මෙමගින් සිදු කෙරෙන්නේ. ඒ අනුව මෙවර මෙම කණ්ඩායමට ඇතුළත් වූවේ ක්වේට් රාජ්‍යයේ ක්‍රීඩකයන්. මීට පෙර නැගෙනහිර ටිමෝරය, යුගොස්ලෝවියානු ෆෙඩරල් ජනරජය, දකුණු සුඩානය ආදී රටවල්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම කණ්ඩායමට ඇතුලත් වී ඔලිම්පික් පිටියේ තරඟ වැද තිබෙනවා.
මෙවර නිදහස් ක්‍රීඩකයන්ගේ ඔලිම්පික් කණ්ඩායම නියෝජනය කරමින් තරඟ වැදුණු ක්වේට් රාජ්‍යයේ ෆිහාඩ් අල් දීහානි පිරිමි වෙඩි තැබීමේ ඉසව්වෙන් රන් පදක්කමක් ලබා ගැනීම ඓතිහාසික කරුණක් වූවා.
මීට පෙර එම කණ්ඩායම ඉදිරියෙන් පදක්කම් ලියවුණේ 1992 වසරේදීයි. එයත් හිමි වුණේ වෙඩි තැබීමේ ඉසව්ව වෙනුවෙන්.
මෙම කණ්ඩායමේ පදක්කම් ලාභීන් වෙත පදක්කම් පිරිනැමීමේ දී ඔලිම්පික් ධජය ඔසවනු ලබනවා.

ලොව වේගවත්ම මිනිසා යන විරුදාවලිය නැවත වරක් තමන් සතු කරගැනීමට සමත් වූ ජැමයිකානු අකුණු සැරය උසේන් බෝල්ට්ගේ අවසන් ඔලිම්පික් උළෙල ‘රියෝ 2016’ යි.
තිස් හැවිරිදි වියේ පසුවන ඔහුගේ නමට ඉදිරියෙන් සමස්ථ ඔලිම්පික් රන් පදක්කම් 09ක් සටහන් වී තිබෙනවා. මෙවර ඔහු මීටර් 100, මීටර් 200, සහ මීටර් 400 x 4 දිවීමේ ඉසව් වෙනුවෙන් රන් පදක්කම් දිනා ගත්තා.

පිහිනුම් ශූර මයිකල් ෆෙල්ප්ස්ගේ අවසන් ඔලිම්පික් තරඟාවලිය වූවේ ද ‘රියෝ 2016’ යි. ඔහු විසින් මෙවර ඔලිම්පික් උළෙලේදී රන් පදක්කම් 6ක් සහ රිදී පදක්කමක් තමන් සතු කර ගැනීමට සමත් වූ අතර මෙතෙන් දිනා ඇති මුළු ඔලිම්පික් පදක්කම් සංඛ්‍යාව 28ක් වෙනවා.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් තනි තනි වශයෙන් දිනා ගැනීමට සමත්වූ පදක්කම් අනුව මෙම සටහන පෙළ ගස්වා තිබෙනවා.
ඒ අනුව මෙවර ඔලිම්පික් උළෙලේ වැඩිම පදක්කම් ලාභියා ලෙස රන් පදක්කම් 6ක් සහ එක රිදී පදක්කමක් දිනා ගත් ඇමරිකානු පිහිනුම් ශූර මයිකල් ෆෙල්ප්ස් කිරුළු දරනවා. මෙම සටහනේ මුල් ස්ථාන තුනම ඇමරිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සතු වීම විශේෂත්වයක්.

ෆිජි, ජෝර්දානය, සහ කොසොවෝ රාජ්‍යය ඔලිම්පික් ඉතිහාසයේ තම නමට ලියවුණ ප්‍රථම ඔලිම්පික් පදක්කම් දිනා ගැනීමට සමත් වුණේ මෙවරයි. එම පදක්කම් සියල්ල රන් පදක්කම් වීම විශේෂිතයි. මේ අතරින් ෆිජි රාජ්‍යය සිය රන් පදක්කම දිනා ගත්තේ සත් සාමාජික රග්බි ඉසව්ව වෙනුවෙන්.
එමෙන්ම බහරේනය, පුවටෝ රිකෝ, සිංගප්පූරුව, වියට්නාමය, සහ තජිකිස්ථානයත් මෙවර ප්‍රථම වරට ඔලිම්පික් රන් පදක්කම් දිනා ගන්නට සමත් වුණා.
තහනම් උත්තේජක ප්‍රශ්නය නිසා සමස්ථ රුසියානු ඔලිම්පික් කණ්ඩායමට මුහුණ පෑමට සිදුවූ සිදුවීම්, සිකා වෛරස් භීතිය, නගරයේ පැවති ආරක්ෂක තත්වය පිළිබඳව වූ බිය, සහ තරඟ පැවැත්වූ ස්ථාන සහ කාලසටහන් ගැන තිබූ ගැටළු ආදිය මූලිකවම අවධානය යොමු වූ කරුණු ලෙස සැලකිය හැකි වුවත්, මේවායෙන් ඔලිම්පික් උළෙලට බලපෑමක් ඇති නොවෙන පරිදි කටයුතු කිරීමට සංවිධායකවරුන් සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට හැකියාව ලැබී තිබුණා .
ඒ කෙසේ වෙතත් ලෝකයේම අවධානය දිනා ගැනීමට පහත සිදුවීම් සමත් වුණා.

ජවන සහ පිටිය ඉසව් සඳහා නම් කර සිටි සම්පූර්ණ කණ්ඩායම, බර ඉසිලීමේ කණ්ඩායම ඇතුළු තවත් බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තහනම් උත්තේජක ප්‍රශ්නය මත ඔලිම්පික් උළෙල වෙනුවෙන් සහභාගී වීම තහනම් කර තිබූ පසුබිමක වුව ද, සමස්ථ පදක්කම් සටහනේ සිව් වෙනි ස්ථානයට පත්වීමට රුසියානුවන් සමත්වීම මේ සියල්ල අතරින් අති විශේෂම සිදුවීම ලෙස දැක්විය හැකියි.
ඔලිම්පික් උළෙලක් කියන්නෙම ඉතාම සුවිශේෂී සිදුවීමක්. එහෙත් මෙවර ඔලිම්පික් උළෙලේදී ලෝකයේ අවධානයට වඩි වශයෙන් පාත්‍ර වූ සිදුවීම් කිහිපයක් පහතින් දැක්වෙනවා.
උතුරු කොරියානු සහ දකුණු කොරියානු ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන් දෙදෙනෙකු තරඟ අතරතුර දී ‘සෙල්ෆියකට’ පෙනී සිටි අයුරු. වම් පසින් සිටින්නේ උතුරු කොරියානු ක්‍රීඩිකාවයි.

බ්‍රසීලය වෙනුවෙන් ප්‍රථම රන් පදක්කම දිනා දුන්නේ කාන්තා කිලෝග්‍රෑම් 57 බර පංතිය වෙනුවෙන් තරඟ වැදුණු රෆායෙලා සිල්වායි. බ්‍රසීලයේ ඉතාම දිළිඳු පවුලකින් පැවත එන ඇය, 2012 ලන්ඩන් ඔලිම්පික් උලෙළේ දී අසමත් වීම හේතුවෙන් ඇගේ අසල්වාසීන් විසින් ඇය ‘රටට නින්දාවක්’ යැයි හැඳින්වූ බව පැවසෙනවා.

ලෝකයේ ‘කම්මැලිම රැකියාව’ මෙය යැයි සමාජජාලා වල අදහස් පළ වී තිබුණා සමහරවිට ඔබ දකින්නටත් ඇති

ඔවුන් සත් සාමාජික රග්බි තරඟය ජය ගත්තේ 43 -7 ක් ලෙස මහා බ්‍රිතාන්‍යය පරාජය කරමින්.

පිරිමි ජූඩෝ තරඟයෙන් සිය ප්‍රතිවාදී ඊශ්‍රායල ක්‍රීඩක ඔස් සැසොන්ට අතට අත දී ආචාර කිරීම ප්‍රතික්ශේප කිරීම හේතුවෙන් ඊජිප්තු ක්‍රීඩක ඉස්ලාම් එල් ශෙහාබි ඔලිම්පික් තරඟාවලියෙන් නෙරපීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් තීරණය කරනු ලැබුවා.

පිහිනුම් ලෝකඩ පදක්කම් ලාභී කින් කායි සිය හොඳම මිතුරිය ලෙස වසර 6ක් පුරා ඔහු ලඟින් සිටි පිහිනුම් ක්‍රීඩිකා හේ ෂී ට විවාහ යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ ඇය මීටර් තුන කාන්තා දිය පිමි ඉසව්වේ රිදී පදක්කම දිනා ගත් අවස්ථාවේදීයි. කායි දිනා ගනු ලැබුවේ එම ඉසව්වේම පිරිමි ලෝකඩ පදක්කමයි.

ඔහු තරඟය නිමා කළේ තත්පර 9.81 කින්. මේ ඔහු පිට පිටම මීටර් 100 ඉසව්ව වෙනුවෙන් ලබා ගත් තෙවන රන් පදක්කමයි.

කාන්තා මීටර් 5000 මූලික වටයේ තරඟය අතරතුරදී එකිනෙකාගේ සිරුරුවල හැපීම නිසා ඇද වැටුණු නවසීලන්ත හා ඇමරිකා ක්‍රීඩිකාවන් දෙදෙනා නැවත නැගී සිටීම සඳහා එකිනෙකාට උදව් කරගන්නා අයුරු කැමරාවල සටහන් වූවේ මෙසේයි. මේ දෙදෙනාම අවසන් වටය සඳහා සුදුසුකම් ලැබුවත් ඇද වැටීමෙන් සිදුවූ ආබාධ නිසා ඇමරිකානු ක්‍රීඩිකාවට එයට සහභාගී වීමට ඉඩ ලැබුණේ නැහැ.

මහා බ්‍රිතාන්‍යය නීයෝජනය කරමින් කාන්තා හා පිරිමි බයිසිකල් ධාවන ඉසව් සඳහා තරඟ වදින ලෝරා ට්‍රොට් සහ ජේසන් කෙනී තමන්ගේ ජයග්‍රහණයන් සමරන අයුරුයි මේ. දෙදෙනා අතරින් ප්‍රථමයෙන් තරඟ වැදුණු ලෝරා තම ඉසව්ව වෙනුවෙන් රන් පදක්කම දිනා ගැනීමෙන් අනතුරුව ජේසන් තරඟ වදින අයුරු දෙස බලා සිටියා. ජේසන් ද තමන්ගේ ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා. මේ යුවළ තමන් සහභාගී වූ ඔලිම්පික් තරඟාවලිවලදී මහා බ්‍රිතාන්‍යයට දිනා දුන් රන් පදක්කම් සංඛ්‍යාව ගණනින් 10ක්.

සමාප්ති උළෙලේදී සිදුවූ සුවිශේෂම සිදුවීමක් වූවේ මෙයයි. 2020 වසරේදී ඔලිම්පික් උළෙලේ සත්කාරක රාජ්‍යය වන ජපානය මෙම සමාප්ති උළෙල තමන්ගේ රැඟුමකින් වර්ණවත් කළා. සුපිරි මාරියෝ ලෙස සැරසුණා අගමැතිවරයා කොළ පැහැති නලයක් තුළ සිට පිටතට පැමිණියේ ඒ අතරතුරදීයි.
