ඉරුදින සුපුවත Irudina Supuwatha

1–30 of 440

'දේව වචනය ජීවමානය. ක්‍රියාශීලීය. දෙමුවහත් කඩුවකටත් වඩා තියුණුය.' (හෙබ්‍රෙව් 4:12)

දිනපතා පූජාවේ ශුද්ධ ලියවිලි පාඨ තුළින් කතෝලික සභා මාතාව ගැඹුරු අධ්‍යාත්මික ගමනක් යන්නීය. එහෙත් බොහෝ කතෝලිකයින් පවා ඒ බව නොදනිති. සෑම වසරකම ආගමන සමයෙන් ඇරඹී ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍යයෙන් අවසන් වන ජනවන්දනා වර්ෂය පුරාවට ක්‍රමානුකූලව ගොඩනැඟෙන තේමාවන් ඔස්සේ විශ්වාසකයින්ට පුළුල් දේවධාර්මික දැනුමකුත් දෙවියන් වහන්සේ තුළ ජීවමාන අත්දැකීමකුත් ලබාගැනීමට උපකාරී වන අයුරින් ශුද්ධ ලියවිලි පාඨ පෙළගස්වා ඇත.

නිරතුරුව දිව්‍ය පූජාවට සහභාගි වන කිතුණුවන් පවා දෙව් වදනින් ලැබෙන පෝෂණය නිසියාකාරව ප්‍රයෝජනයට නොගන්නා බව අප අවබෝධ කරගත්තේ අපේම අත්දැකීම තුළිනි. විශේෂයෙන් ම ඉරුදිනට නියමිත දේව වචනය භාවනාත්මකව කියවීමෙන් සහ මෙනෙහි කිරීමෙන් ලැබෙන ආලෝකය පව්කාර අපගේ ඇතුළාන්ත අධ්‍යාත්මික අන්ධකාරය මුළුමනින්ම වුව දුරු කිරීමට සමත් බව අපි පසක් කරගෙන සිටිමු. එහෙයින් මේ වෑයම දෙවියන් වහන්සේ සමඟ ඇති ආදර සම්බන්ධතාවයේ ගැඹුරට ම යාමට ඇත් නොනිත් ආශාවේ සළකුණකි. අප අත්දකින ආලෝකයෙන් බිඳක් ඔබ සමඟ බෙදා ගැනීමේ බලාපොරොත්තුවෙන්  මෙම මෙනෙහි කිරීම් මෙසේ ඉදිරිපත් කරමු.

දිනෙන් දින දියුණු වන තාක්ෂණය ශුභාරංචිය පතළ කිරීමේ කාර්යයට ශ්‍රී ලංකාව තුළදී ද වෙසෙසින් යොදාගත යුතු බව අපේ අදහසයි. මෙම අඩවිය විදේශගත ශ්‍රී ලාංකිකයිනට ද ප්‍රයෝජනයක් වනු ඇතැයි අපි විශ්වාස කරමු. මෙහි අඩංගු සියලු දේ ශුද්ධවූ කතෝලික සභාවේ නිල ඉගැන්වීම් මත පදනම් වන බවට අපි නිරතුරුවම වග බලා ගනිමු.

ඔබේ අදහස් හා යෝජනා අපි ඉතා අගය කොට සළකමු. ඔබ මෙම මෙනෙහි කිරීම් අගය කරන්නේ නම් මෙම කාර්යය නොකඩවා කරගෙන යෑමට ශුද්ධාත්ම බලය ඉල්ලා අප වෙනුවෙන් යාච්ඤා කරන මෙන් ඉල්ලා සිටිමු.
ඔබට ජේසු පිහිටයි!

'ඉරුදින සුපුවත' කණ්ඩායම