කෙටි කතාව 12

7 views
Skip to first unread message

Nissanka Rajapaksa

unread,
Apr 18, 2025, 9:17:19 PMApr 18
to INDRAKA group
1
අත්තිවාරම් කැපීම

- චන්දන එස් කුමාර 


Nissanka Rajapaksa

unread,
Apr 19, 2025, 8:32:45 PMApr 19
to INDRAKA group
2
ෂිද්දා සහ කුෂිබා

- ඉසාක් බෂෙවික් සිංගර්

පරිවර්තනය එස් නන්දලාල් 

Nissanka Rajapaksa

unread,
Apr 20, 2025, 7:14:52 PMApr 20
to INDRAKA group
3
ජීවිතයේ වර පහ

- මාර්ක් ට්වේන් 

පරිවර්තනය එස් නන්දලාල් 

Nissanka Rajapaksa

unread,
Apr 21, 2025, 10:19:19 PMApr 21
to INDRAKA group

4

දිය බින්දු සහ වෙඩි උණ්ඩ


ශ්‍රී ලාංකික දෙමළ ලේඛක සෙන්කයි අලියාන්  

පරිවර්තනය උපුල් වික්‍රමනායක

වනාන්තරය පුරා අරක්ගෙන තිබුණ නිහඬ නිසලතාව එහෙමපිටින්ම බිඳී ගියේ කොහේදෝ සිට විසිර ගිය දැවැන්ත බියකරු ශබ්දයත් එක්කය. දිගින් දිගටම තිබුණ පෑවිල්ල හේතුවෙන් තණබිමෙහි තණනිල්ල දුඹුරු පැහැයට හැරෙමින් තිබිණ. තණකොළ උලා කමින් සිටි කලයියාන් ඔළුව ඉස්සුවේ තරමක ගාම්භීර අයුරෙනි. කන් සිදුරට ඇතුළු වූ සද්දය පැත්තට කන් හැරවීය.

සද්දය ආවේ බොහෝ දුරෙනි. අනතුරක් නැත. කලෙයියාන් තණබිමෙහි විසිර සිටි තමන්ගේ වරිගයා දෙස විමසිලිමත් විය. පාන්දර හිරු කිරණ වැටී සුදු පැහැයෙන් බැබළෙද්දී මුළු බිම් යාය සිසාරාම පැතිර යන්නේ අපූරු චමත්කාර බවකි.

කලෙයියාන් හිස ඔසවද්දී ඔවුන්ගේ අං තට්ටුව දුරින් සිටින්නන්ට පෙනෙන්නේ අනතුරු ඇඟවීමක් ලෙසිනි. කලෙයියාන් වටපිටාව සිසාරාම බැලුවේය. හතර දිග් බාගයෙන් තුන් පැත්තක්ම වැසී ඇත්තේ අඳුරු ගන කැලෑවකිනි. අනෙක් පැත්තෙන් පෙනෙන්නේ කඩතොලු වූ වැව් බැම්මකි. මේ කඩතොලුව කොහොම සිදුවුවත් තාණ්ඩිකුලම් වැවට වැහි වතුර ගලාගෙන එයි. මෙහි තැනින් තැන කැඩී බිඳී ඇතත් මීට එකතු වන වතුර ටික සතා සීපාවාගේ පටන් හැම දෙනාගේම ඕනෑ එපාකම්වලට ඇති පදම්ය. වැව අබල දුබල වී ඇත්තේ අවුරුදු ගාණකින් කිසිම පිළිසකරයක් නොවූ නිසාය.

කණ්ඩිකුලම උතුරේ සිට කිලෝමීටර් හතරක් දුරෙනි. එය පෑවිල්ලට අහුවී වියැළී ගියොත් පවුල් දෙසියපනහකට වැඩි පිරිසකට සිදුවන්නේ හාමතේ දිවි ගෙවන්නටය. කැඩුණු වැව් බැම්ම අස්සෙන් කලෙයියාන්ට පෙනෙන්නේ වල් මී හරකුන් රංචුවක් වැව මැද්දට වී වතුර බොමින් සිටින අයුරුය.

මේ වනවිට අඩියට පෙනෙන තරමට හිඳී ඇතත් වතුර ඇති එකම තැන එයයි. වනාන්තරය එන්න එන්නම කෙට්ටු වී තිබුණේ මිනිසුන්ගේ පදිංචිය වැඩිවීම හේතුවෙනි.

කලෙයියාන්ට මැස්සන් දස වධයක් වී තිබුණි. යන්තමට හෝ මතුවී තිබෙන තණකොළ නිවී සැනසිල්ලේ කෑමටවත් මේ නිසා ඉඩක් නොවිණි. කලෙයියාන්ගේ කෙටි වලිගය කිසිම වැඩකට නැතිවාක් මෙනි. ඇඟ එහෙන් මෙහෙන් සොලවා ගැස්සීමෙන් මැස්සන් ටික එළවා දැමිය හැකි විය. එහෙත් හරක් මැස්සන් වැඩි දෙනකු සිටින්නේ කලෙයියාන්ලාගේ උදරයේ එල්ලී ගෙනය. හරි හමන් විදිහට තිතටම එල්ල කර පසු පාදයෙන් ගසනා පහරකින් මැස්සන් එළවයි.

තවත් විශාල ශබ්දයක් රැව් පිළිරැව් දෙන්නට විය. මුවෝ ද කලබල වී සිටියහ. මුවන් හිස් සඟවා ගෙන ඔවුන්ගේ නායකයා දෙස බලා උන්නේ සැකයෙන් ද දුකෙන් ද යුතුවය. ඔවුන්ගේ රංචුවේ ලොකු කුඩා තිහකට ආසන්න පිරිසක් වූහ. ඔවුන්ගේ පැවැත්මත් ආරක්‍ෂාවත් රැඳී ඇත්තේ කලෙයියාන් අතේය.

තණබිමේ වපසරිය එන්න එන්නම කෙට්ටු වී ඇතත් තවමත් දරුණු අතට ළඟාවී නැතිය. එහෙත් වතුර හිඟය තදින්ම දැනෙයි. ඉඩෝරය අත ළඟටම ඇවිත් තිබිණි. වැව මැද්දෙහි තිබුණ වතුර ටික පවා වේළෙන්නට ඔන්න මෙන්න ය. පෙලිකන්ලාත් සයිබීරියන් පාත්තයෝත් උතුරට පියඹා ගොසිනි.

තව දුරටත් කණ්ඩිකුලමෙන් දිය පොදක් සොයාගත නොහැකිවාක් මෙනි. මිනිසුන්ට තවදුරටත් වතුර වුවමනාවක් නැතිවාක් මෙනි. ඉතිරිව ඇති දිය කඳුළ බීමට එන සත්තු ඔවුන්ට ගොදුරු වූහ. ඔවුන් හදවතේ කිසිම තෙතමනයක් නැත්තන් මෙනි. ඔවුන්ගේ අනුකම්පා විරහිත තුවක්කු මෙන්ම උගුල් විශාල වශයෙන් වන සතුන්ගේ ජීවිත ගිල ගත්තේ කිසිම අනුකම්පාවක් නැතිවය.

“කණ්ඩිකුලමට මොන හේතුවකටවත් යන්න එපා” කලෙයියාන් තදින්ම අණ කළේය.

වනාන්තරය කලඹනසුලු සද්ද දැන් ළඟ ළඟම ඇසෙයි. විශාල වාහන කන්දරාවක් මරිප්පුකුලමට ළඟා වෙමින් තිබිණි. කිරළකු හොඳටම කැලඹුණ වියරු හඬ වනාන්තරය සිසාරා පැතිර යන්නේ අනතුරු ඇඟවීමක් ලෙසිනි.

ගිගිරුම් සහිත හඬ දිය උගුරක් බොන්නට හදන තැනට ඔන්න මෙන්න ලෙසින් දැනෙයි. ඇත්තෙන්ම එය වැව් බැම්මට විරුද්ධ පැත්තෙන් මතුවී තිබිණි.

කලෙයියාන් හිස ඔසවා වටාපිටාව ඉව අල්ලන්නට විය. එය කලෙයියාන්ට බොහෝ සමීප සුවඳකි.

මිනිසුන්… මිනිසුන්…

කලෙයියාන්ගේ දෑසින් බිය පළ වන්නට විය. හිසෙන් ඇඟවූ අන්තරායදායක බවත් එක්කම ගව රැළේ සියල්ලන්ම උතුරු දිසාවට හෙමින් සීරුවේ ඇදෙන්නට වූ අතර වනයේ අනෙකුත් සගයෝ ද ඔවුන් පසුපසින් ගාටන්නට වූහ. ඔවුහු හෙමින් හෙමින් ගන කැලෑවට වැදී නොපෙනී ගියත් ඔවුන්ගේ කුර හඬවලින් එන සද්දය මහ හඬින් ඇසෙන්නට විය. ඒ වගේම තණකොළ ද තැළී පොඩිවී බිමට සමතලා කරන්නට සමත් වී තිබිණි.

වනාන්තරය අද්දර හැංගුණ කලෙයියාන් මරිප්පුකුලම් අඩවිය දෙසට නෙත් යොමු කළේය. විශාල වන ගොන්නක් මැද්දෙන් විශාල ගර්ජනාවක් ද මිනිසුන්ගේ ඉව ද දැනෙන්නට විය. විශාල අඳුරු සත්ත්වයන් තිදෙනකු වැව් කණ්ඩිය නැඟගෙන එනවාක් මෙන් කලෙයියාන්ට පෙනෙන්නට විය. මේ එන්නේ කැලේ අණසක පතුරුවන අලින්ද?

නැත… ඒවා ගිනි පුපුරු විසුරුවමින් එන දැවැන්ත යන්ත්‍ර සූත්‍ර ගොන්නකි. කලෙයියාන් ඒවා මොනවාදැයි හරියටම හඳුනා ගත්තේය. මීට සති දෙකකට විතර පෙරාතුව කැලයේ සැඟවී උන් මිනිසුන්ට වෙඩි උණ්ඩ මුදාහැරියේය. මෙයින් වෙඩි කෑ කැලෑ හරකුන් දෙතුන් දෙනකු සුන්වී විනාශ වී යනු දැකගත හැකි විය.

කලෙයියාන්, ගන කැලෑවට ඇතුළු වෙනවාත් එක්කම කණ්ඩිකුලම් ඉසව්වෙන් බෝම්බ පුපුරා හතර දිග් බාගයේම විසිරෙනු ඇසෙන්නටත් පෙනෙන්නටත් විය. ඇස් නිලංකාර කරවමින් ඇසුණු පෙනුණු බෝම්බ පිපිරීම් හඬවලින් නැඟුණු කම්පනය සතුන්ට ද දැනෙන්නට විය.

මිනිසුන් කී දෙනකු මේවාට හසුවී සුනු විසුනු වී ගියේදැයි දන්නේ දෙවියන් පමණි. කෙතරම් ගොඩනැඟිලි කන්දරාවක් මහ පොළොවට සමතලා වී සුන්නද්දූලි වී ගියාදැයි කියන්නට දන්නේ ද දෙවියන් පමණි. මෙම ගම්මානයට කිසිමදාක බෝම්වලින් ගැලවීමක් නොවුණාක් මෙනි. පසුගිය අසූව දශකයේදී ගොඩබිමෙන් කඩාවැදුණු කණ්ඩායම් බොහෝමයක් වැසියන්ට ගිනි බින්ද අතර ගෙවල් බොහොමයක් අළුවී නටබුන් බවට හැරුණේය. ඔවුන් තරුණ කතුන් කැලයට ඇදගෙන ගිය අතර ඔවුන් මියගියේ අතවරයට ලක්ව එයින් පසු ගෙල මිරිකීමට ලක්වීමෙනි. මේ වෙද්දී ගෙවුණු අන්තිම අවුරුදු කීපයේදී තවත් කණ්ඩායමක් බෝම්බ හෙළන්නට පටන්ගෙන තිබුණේ මහ විනාශයක් කරමිනි.

“මේ මිනිසුන්ට මොනවා වෙලාද මන්ද? කැලෑ සත්තු නම් තව එකෙක් මරන්නේ කෑමට ගන්න විතරයි… උන් කවදාවත් මේ වගේ කිසිම හිතක් පපුවක් නැතිව එක එකා මරා ගන්නේ නෑ… මොකක්ද මේ විනාසෙ?

කලෙයියාන්ට කිසිම දෙයක් තේරුම්ගත නොහැකිය.

වනාන්තරය ඇතුළෙන් මේ වෙද්දී විශාල කැලඹිල්ලක් මතුවවිත් තිබිණි. මුවන් සියලු දෙනාගේම ඇස් යොමුව තිබුණේ කලෙයියාන් දෙසටය. ඔවුන්ගේ දෑස්වලින් කියැවෙන ආයාචනය කලෙයියාන්ට හොඳින්ම ඒත්තු ගියේය.

පිපාසය…

හැන්දෑකරය රාත්‍රිය බවට හැරෙමින් තිබිණි. ඔවුන්ගේ උගුර කට වියැළෙමින් තිබිණි. තණකොළ වමාරමින් යළි යළිත් කමින් සිටි ඔවුන්ගේ පිපාසය තදබලය.

කලෙයියාන් වටපිටාව ඉව කර බැලුවේය. මිනිසුන් කරක් ගසනා අයුරු තවමත් එසේමය. ඔවුහු කැඩුණු වැව් බැම්මට සේන්දු වී සිටියහ. ඔවුන් වෙනත් ඉසව්වකින් වතුර වළ ළඟට සේන්දු වීයේද?

වනාන්තරය අද්දර උන් සත්තු සියලු දෙනාම වැවේ බැම්ම දෙසට කනක් යොමු කරගෙන උන්නේ තුෂ්ණිම්භූතවය. ඔවුන්ට නරීන් කීපදෙනකු දැකගත හැකිවිය. ඔවුන්ට වල් ඌරන්ගේ ද හඬ එහෙන් මෙහෙන් ඇසිය හැකි විය.

ඔවුන් දෙස බඩගින්නේ බලා සිටින මුවන්ගේ ඉව ඔවුන්ට දැනෙන්නට විය. කලෙයියාන් තමන්ගේ අඟ සෙලවීමෙන් හරි රංචුව එහා මෙහා විසිර ගියහ.

මිනිස්සු රොත්තක්ම වැව් බැම්ම මත්තට ආහ. ඔවුන් එතැනට ආ සැණින්ම කටුකමිබ් වැටක් ගොඩනඟා සන්නද්ධ රථ සියල්ලම කැලය පැත්තට යොමුකර තිබිණි. ඔවුන් සියල්ල සූදානම්ය.

කලෙයියාන්ගේ සිත එහෙමපිටින්ම සසලවී ගොසිනි. ඔවුන් මෙතැනින් අයින් වී යන පාටක් ද පෙනෙන්නට නොමැත. මේ නිසා කලෙයියාන්ට විශාල ප්‍රශ්නයක් ශේෂ වී ඇත.

පිපාසය… වතුර?

මේ වනවිට වන වදුලේ කිසියම් කලබැගෑනියකි. තවදුරටත් ඒවා අමුතු අන්දමට පහත් වෙමින් තිබිණි. ඒ කුමක්දැයි කියා සොයා බලන්නටවත් හැරී බලන්නටවත් මත්තෙන් වෙඩි උණ්ඩයක් කැලෑව තුළට කඩාගෙන ගියේය.

“අම්මා…” තරුණයකුගේ හඬක් සමග කිසිවක් කඩාවැටෙන්නාක් බඳු හඬක් අසන්නට ලැබිණි. ඒ එක්කම වැව් බැම්ම දෙසින් ද “අම්මේ…” හඬක් සමග කිසිවකු පෙරළී යනු ඇසිණි. කැලෑවේ සැඟවී සිටි තරුණයෙක් තුවාල වූ තම සගයා වහා තමා ළඟට ඇදගෙන ඉතා පරිස්සමෙන් ආරක්‍ෂිතව විශාල ගසක් පාමුල තැබුවේය.

සගයාගේ සිරුරෙන් වැහැරෙන රුධිරයෙන් තරුණයාගේ සිරුර නැහැවී තිබිණි.

“සත්‍යා උඹ මාව දාලා පලයන්… විගහට දුවපන්…” වෙඩි වැදුණ තරුණයා අමාරුවෙන් වචන එකතු කරමින් තතනමින් කීවේය.

“එහෙම බෑ සාසි…” අනෙක් තරුණයා තදින්ම කීවේය. ඔහු එසේ කීවේ ඔහුගේ දෑත බෙල්ලට තබා ගනිමිනි. ඔහු වැඩි වේලාවක් යන්නට මත්තෙන් ඔහු යහළුවා පිට මැද්දෙහි තබාගෙන හනි හනිකට උතුරු පැත්තට ඇවිද ගෙන ගියේය.

වැව් බැම්ම ආසන්නයේ යුද්ධය දැන් දැන් දිගින් දිගටම ඇවිළී යයි. වනාන්තරය ඇතුළ ගින්නෙන් වැසී ගොස් ඇත්තේ බෝම්බ වැටීමෙනි.

කලෙයියාන් තව තවත් ගන වනාන්තරය පැත්තට ගියේ තමන්ගේ රංචුව ද එක් කර ගනිමිනි. තවත් ටික වේලාවකින් හෙලිකොප්ටරයක් ඉහළ අහසින් මතුවූයේ කිසිම අණක් ගුණක් නැතිව ගම්මානයට වෙඩි උණ්ඩ එල්ල කරමිනි.

රැය පහන් වෙමින් අරුණැල්ල යන්තමට මෝදු වෙමින් තිබිණි. කලෙයියාන් සිය සගයන් දැඩි වෙහෙසට පත්ව සිටිනු දුටුවේය. ඔවුන් සියල්ලන්ම නොසන්සුන්ය. ඔවුන්ගේ නිජබිම අනතුරේය. මිනිසුන් තවමත් ඔවුන්ගේ නිවහන්වලද? නැතිනම් කැලයට රිංගා ගෙන ඔවුන් සත්ත්වයන් වීද?

“මිනිසුන් ශිෂ්ටසම්පන්න කරලා ගම්වලට යවන එක කොච්චර නම් අමාරුයිද? මෙහෙම ගියොත් හතර දිග් බාගයෙම සත්තු බෝවෙලා යයි. මේක මේ විදිහට ආපස්සට නොගත්තොත් මිනිසුන්ට කැලෙන් එළියට එන්න වෙන්නේ සතුන්ට ඒ අයව හීලෑ කරගෙනයි…” කලෙයියාන් සිතුවේය.

කිසිම සතකු තණකොළ නොකෑහ. අඩු ගානේ ඔවුන්ගේ බඩවැලේ අග්ගිස්සේ රැඳී තිබුණු තණකොළ ඩිංග පවා වමාරන්නට තරම්වත් උනන්දුවක් නොවිණි. ඔවුන්ට දැන් වුවමනා එක් දෙයක් පමණි. ඒ වතුරයි…

මේ වෙද්දී උස් ගස් පෙළ අතරින් හිරු බටහිර පැත්තට වන්නට කිරණ විහිදුවමින් සිටියේය. තාණ්ඩිකුලම් වැව් බැම්මේ අනෙක් පස දැන් හොඳටම පෙනෙයි. එකම තැනෙක විතරක් රැඳී තිබුණු දිය පහර දැන් අපූරුවට පෙනෙයි. මා දැන් එතැනට යායුතුද?

අන්තරාදායකයි… වන වදුලු අස්සෙන් ගම්මුන් බොහෝ දෙනකු මර උගුල් අටවා ඇත. කලෙයියාන් මේ ගැන හොඳාකාරයෙන්ම දැනගෙන උන්නේය. මෙම මිනිසුන් දිවා රැයේ විමසිල්ලෙන් සිටිනා වගත් ඔවුන් මාරුවෙන් මාරුවට ඇස ගසාගෙන සිටින වගත් ඉව වැටී තිබිණි. එහෙත් අද මුල්ම වතාවට එකම කණ්ඩායමක් මාරිප්පුකුලමේ කඳවුරු ලා ගෙන සිටිති. ඒ ප්‍රහාරක රථ ගොන්නක් ද සමගය. ඔවුහු මේ වෙද්දී සීමාව ආසන්නයේ නතර වී සිටිති. නවකයන් රොත්ත වනාන්තරය පැත්තේ සිට ගිනි බිඳති. බොහෝ දෙනකු වැටෙද්දී තව පිරිසක් දිව යති.

ගමට යෑමට නොහැකිය. ගම්මානය ද රැකවල්ලා ඇත.

රැය ආසන්න වෙමින් පවතී. සත්තු සියල්ලෝම පිපාසයෙන් පීඩා විඳිති. කුමක් කරන්නද? කොහොම යන්නද? කලෙයියාන් අහස දෙස බැලුවේය.

ඈතින් ගන අඳුරු වලාකුළු හෙමින් හෙමින් මනලාරු අඩවියට ගලා යමින් තිබෙනු දැකගත හැකි විය. මෙය වැස්ස වැටෙන්න සමයක් නොවිණි. මෙම මිනිසුනට අත ළඟ පෙනෙන්න තිබෙන වතුර ටිකවත් බොන්නට ඉඩක් නැතිවාක් මෙනි. සතුන් සියල්ලන්ම තාණ්ඩිකුලම් වැව දෙස බලා සිටින්නේ තෝන්තුවාවෙනි.

කලෙයියාන් විමතියෙන් බලා උන්නේය. කවුද වතුර වළට යන්නේ…?

සැකයක් නැත. ඒ පලිප්පුය. ඇය කිසි ගරු සරුවක් නැති නිර්භීත දෙනකි. ගැබිනියකි. පිපාසයෙන් ඇය හොඳටම බැට කයි. ඇය ගාලෙන් නික්ම වැව දෙසට ඇවිද යන්නට වූවාය.

“පලිප්පු… යන්න එපා…” කලෙයියාන් ඇයට අවවාද කරන්නට උත්සාහ කළාය.

ඇය වැව් බැම්මට පය තබනවාත් එක්කම බොල් හඬක් නංවමින් යමක් පිපිරී ගියේය. පලිප්පුගේ කකුල අහිමි වී තිබිණි. ඇය නැඟීසිටින්නට උත්සාහ කළත් එය එසේ නොවිණි. එක කුරයක් එහෙම පිටින්ම ඉවත්වී තිබිණි. ඇය කොර ගසමින් තමන්ගේ සනුහරේ ඉන්නා ඉසව්වට යන්නට හැරුණාය. “බලාගෙනයි… ආයෙ තව එකකට අහුවෙයි…”

මිනිස්සු කීපදෙනෙක් ඇගේ පසුපසින් වූහ. කලෙයියාන් ගාලේ සගයන්ට අනතුරු ඇඟවීය. සතුන් සියල්ලන්ම කැලය පැත්තට ඇදී ගියේ ඉතා ඉක්මනිනි. කලෙයියාන් වන වදුලු අස්සෙන් පලිප්පු දෙස බැලුවේය.

ඇය සිටියේ කඳුළු වගුරවමිනි. පලිප්පුවට ඇවිදගත නොහැකිය. කැලෑව අද්දරට ඒමේ සටන එහෙම පිටින්ම වාගේ අඩපණ වී තිබිණි. ඇය තදින්ම හුස්ම ගනිමින් කකුල් තුනෙන් ඇවිද යන්නට උත්සාහ කළාය. කකුල කැඩී පොඩිවී විනාශවී ගොසිනි. ගැබ්බර ඇය වේදනාවෙන් කෙඳිරි ගාමින් ද තවත් වරෙක කෑ ගසමින් ද උන්නාය. කලෙයියාන් ඇය ළඟට යෑමට උත්සාහ කළත් මිනිස්සු ඊට කලින් ළඟාවූහ.

“පලිප්පු… පලිප්පු…”

මිනිස්සු ඇය අල්ලා ගන්නට උත්සාහ ගත්හ.

“වෙඩි තියන්න එපා… වැටෙන්නයි යන්නේ…” ඔවුහු ළඟටම ආහ. ඔවුන්ගෙන් අයෙක් ඇගේ හිසට විශාල කුළුගෙඩි පහරක් එල්ල කළේය. ඇය මියගියේ පැටවා ද බිහිකරමිනි.

“පැටියෙකුත් ඉන්නවා…”

කවුරුන් හෝ කෑගැසුවේය. ඔවුහු ටික වේලාවක් තුෂ්ණිම්භූතව බලා සිටියහ. ඉන් පසු ඔවුහු ඇය කුදලාගෙන ගම පැත්තට රැගෙන යන්නට වූහ.

මේ වනවිට තවත් දවසක් ගෙවී ගියේය. සතුන් වනාන්තරය පීරාගෙන ගියත් දිය පොදක්වත් හමුනොවිණි. කලෙයියාන්ගේ ගාලට තවදුරටත් පිපාසය දරාගත නොහැකිය.

හිරු බටහිර ඉසව්වට ගමන් කරමින් තිබිණි. බෝම්බ පිපිරෙන හඬ ගුවන් තලය සිසාරා යයි. වනාන්තරයටත් ගම්මානයටත් බෝම්බ වරුසා වැටෙමින් තිබිණි. බෝම්බ හඬත් එක්කම ගම්මුන්ගේ විලාපය ද හතර දිග් බාගයම දෙවනත් කරයි.

මිනිසුන්ගේ නිවහන් දැවී අළුවී යන්නේ නිමේෂයකිනි. මිනිසුන්ගේ සිරුරු කොටස් ද පාර පුරා විසිර තිබෙයි. ගම්මු ඔවුන්ගේ අතට හසුවන හසුවන දේ රැගෙන පිටමං වෙමින් සිටිති. පණ කෙන්ද බේරුණ හැම කෙනකුටම එළිමහනේ විසිර ඇති මළසිරුරු දැක ගන්නට පුළුවන. මින් බොහෝයක්ම වැටී තිබෙන්නේ මාරිප්පුකුලම් වැව් බැම්ම මත්තෙහිය. නරි රංචු ඒවා වටා කරකැවෙමින් සිටියහ. මේ වෙද්දී හැම තැනම පැතිර ඇත්තේ අද්භූත බවකි. කිසිම ප්‍රාණවත් බවක් පෙනෙන්නට නොමැතිය. මැදියම් රැය උදා වෙද්දී කලෙයියාන් සිය රංචුව එක්කගෙන ගියේය.

විරුද්ධ පැත්තේ වැව් බැම්ම මඟ හැර යා යුතුය.

එය මර උගුල් රැසකි. මර උගුල් මඟහරින්නට නම් ගම්මානය මඟහැර යා යුතු වෙයි. මඳ නලට කැටිවුණු මිනී ගඳ ගුවනේ පාවෙමින් තිබිණි.

පුරා හඳ අහස් තලය සිසාරා අරක් ගෙන තිබිණි. මෝදු වුණු පුරා හඳ ශාන්ත නිසල අයුරෙන් ලස්සනට පෙනෙන්නට තිබිණි. “ලෝකය කෙතරම් සුන්දරද…?” කලෙයියාන් සිතුවේය. “මිනිසුන්ම තමයි මේක අපායක් කරන්නේ…”

කලෙයියාන් ගම්මානයට ඇතුළු විය. කලෙයියාන්ට ළමයකුගේ හඬ ඇසෙන්නාක් විය. ඔහු සිටියේ මියැදුණු අම්මාගේත් තාත්තාගේත් සිරුරු දෙකට මැදිවය. “මට බඩගිනියි අම්මේ… නැඟිටින්නකෝ… අනේ අම්මේ…” ඔහු දිගින් දිගටම ආයචනය කරමින් වැලපෙයි.

ළමයා පසුකර ඉදිරියට ඇදී ගිය හරකුන් ගාලම වැවේ නතර විය. ඇති පදම් වතුර පානය කළ කලෙයියාන් හොඳින්ම වටපිටාව පිරික්සීය. “අපි මේ ගමේම නතර වෙමු… මේ ගම්මානයම කොච්චර ෂෝක් කැලෑවක්ද…?” කලෙයියාන් තමන්ටම මුමුනා ගත්තේය.

https://divaina.lk/%E0%B6%AF%E0%B7%92%E0%B6%BA-%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94-%E0%B7%83%E0%B7%84-%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92-%E0%B6%8B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9/

Amarasiri Gunawardena

unread,
Apr 22, 2025, 3:15:53 AMApr 22
to ind...@googlegroups.com
 Hi 
අප බොහෝ දෙනෙක් දන්නා සරත් සමරසෙකර 'සිසිළ' සඟරාවේ පළ කරන ලද කෙටිකතාව 'මිත්‍රයා'

ගුනේ 

--

---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
To view this discussion visit https://groups.google.com/d/msgid/indraka/CAFRcW-%2BEs_bxwrqEJXOpOXx4h23VerSVnuSfAi6oKwVUp0XM0w%40mail.gmail.com.
Sarath S - SS - Mithraya.pdf

Nissanka Rajapaksa

unread,
Apr 22, 2025, 8:13:20 PMApr 22
to INDRAKA group
5
කුණු වතුර 

- බර්ටෝල් බ්‍රෙෂ්ට්

පරිවර්තනය එස් නන්දලාල් 

Nissanka Rajapaksa

unread,
Apr 23, 2025, 8:09:48 PMApr 23
to INDRAKA group
6

අත්හැරීම

වියට්නාම් ජාතික Vu Thi Huyen Trang විසින් රචිත Ex-husband කෙටි කථාවේ පරිවර්තනයකි

පරිවර්තනය; එම්.එම්. පාලිත මහින්ද මුණසිංහ

නිවස පිරිසිදු කිරීමෙන් පසු ට්‍රෑම් විදුලි පහන නිවා දමා තම දරුවා වෙත සමීපව නිදාගැනීමට සූදානම් වන විට රාත්‍රී දහයට ආසන්න විය. කිසිවකු දොරට තට්ටු කළේ ය. ඒ හඬින් ඈ දෙගිඩියාවට පත් වූවාය. නිවසේ පිරිමියකු නොසිටි නිසා රාත්‍රියේ දොරට තට්ටු කිරීම ඈ තුළ නොසන්සුන් බවක් ඇති කළේ ය. උදව් ඉල්ලන්නේ අසල්වැසියෙකු නොවේ නම් මේ වේලාවේ දොරට තට්ටු කරන්නේ කවුද? දුරබැහැර ජීවත්වන ඥාතියෙතු දරුවා බැලීමට පැමිණියේ නම්, ඔවුන් මුලින්ම කතා කරනු ඇත. තත්පර කීපයක් යනතුරුම ඇයගේ සිතුවිලි ව්‍යාකූල වූවාය.

ඈ සෙමෙන් සෙමෙන් දොරපියන යාන්තමින් විවර කළා ය. ඈතින් දුටුවේ හුයිගේ කමිසයයි. විදුලි බුබුල දැල්වීමත් සමග ඔහු උරමින් සිටි සිගරට්ටුව ඉවතට විසි කළේ සපත්තුවේ අගින් ගින්දර නිවා දැමීමෙනි. මේ මොහොතේ ඔහු පැමිණියේ මන්දැයි ඇසීමට සිතුන ද ඈ නිහඬව සිටියා ය. නිවස ආලෝකමත් විය. තරමක් විඩාපත් බවක් ඔහුගේ මුහුණින් පෙන්නුම් කළේ ය. ඔහු වෙත ලැබුණ නරක ආරංචිය මත නා දැකීමට අවශ්‍ය වී තිබුණි. පානය කිරීමට යමක් අවශ්‍ය දැයි ට්‍රෑම් ඔහුගෙන් විමසා සිටියාය.

“මට කෝපි එකක් දෙන්න” හුයි නිවසට ඇතුළු වෙමින් වාඩි වීමට පෙර වටපිට බැලුවේ ය.

සෑම දෙයක්ම තවමත් එලෙසම විය. උසාවි ගොස් වසර තුනක් ගත වුවද තමා මෙහි ජීවත්ව සිටි අවධියේ දුටු කිසිවක් වෙනස් කර නොතිබුණි. කිසිවෙකු එය භාවිතා නොකළ ද සිගරැට් අළු බඳුන පවා තවමත් ජනෙල් පඩිය මත විය.

“ඇයි ඔයා නැවත විවාහයක් කර නොගත්තේ? ඔයාට ආදරේ කරන අය ගොඩක් ඉන්නවා නේ.”

විමසීමට ප්‍රතිචාර නොදක්වා හුයි වෙනුවෙන් කෝපි සෑදීමට ඈ නිවස තුළට ගියා ය. භාර්යාවක ලෙස අවුරුදු හතරක් තිස්සේ ට්‍රෑම් තවමත් චාරිත්‍රයක් ලෙස ඔහුට කෝපි සාදන්නී ය. එකල ඔහු වේලාසනින් නිදාගෙන පාන්දර තුනට අවදි වී පුවත්පත කියවයි. ඔහු සමඟම ට්‍රෑම් අවදි වේ. වරෙක ඔහු පාපන්දු ක්‍රීඩා නැරඹීමට රූපවාහිනිය ක්‍රියාත්මක කරයි. ඔවුනොවුන් අතර අමනාපකම් පැවතිය ද, ඇයගේ සිත දුකෙන් හෝ කෝපයෙන් පිරීගිය ද, ඒ සියල්ල යටපත් කරදැමීමට ඈ හුරුපුරුදු වූවාය. ඇයගේ හදවත හඳුනාගැනීමට කෝපි උගුරක් ප්‍රමාණවත් විය. නමුත් ඇයට තම හදවත නිරාවරණය කිරීමට අවශ්‍ය නොවූවා ය. එකට ජීවත්වීමට හෝ එකට නිදා ගැනීමට නොහැකි වූ විට පවා ඈ උරණ නොවූවා ය. දික්කසාදය සඳහා උසාවි යෑමට පෙර, ඔහුට කෝපි සාදාදීමට ට්‍රෑම් මැලි නොවූවා ය. තම සැමියා ඉදිරියේ කෝපි කෝප්පය තබමින් ඇය සිතුවේ තමා ඔහුගේ බිරිඳ විය හැකි අවසාන මොහොත එය බවයි.

මේසයේ දෙපස ඉඳගෙන ඔවුනොවුන් කතාබහ කළහ.

“දැන් මෙහෙම ඉන්න එක ගැන මං සතුටු වෙනවා. ආයේ කසාද බඳින්න ඕනේ කියලා මං හිතන්නේ නැහැ.”

“මං නිසාද ඔයා විවාහයට බය?”

“මං මගේ දරුවා ගැන හිතනවා. විවාහ වුණොත් මගේ දරුවාට දුක් විඳින්න වෙයි.”

හුයි නිහඬව සිටියේ ය. අඳුර නිසා මිනිසුන් ඕනෑවට වඩා සිතනු ඇතැයි ට්‍රෑම් බිය වූවා ය. ඈ හිතාමතාම නිවසේ විදුලි පහන් සියල්ලම දල්වා තැබුවාය. ඔවුන් තවමත් රාත්‍රියේ සබඳතා පවත්වන බවට අසල්වැසියන් කටකතා පතුරවනු ඇතැයි ඈ සැක පහළ කළා ය. විදුලි පහන් නිවා දැමුවහොත් මිනිසුන් සිනාසෙනු ඇතැයි ඈ බිය වූවා ය. ඔවුන්ට දරුවෙකු සිටි බව සැබෑ නමුත් ඔහු දැන් විවාහකයෙකි. හුයි කලබල වන සෑම අවස්ථාවකම ට්‍රෑම් ගැන සිතන බවක් පෙනෙන්නට තිබුණි. උදේ පාන්දර, මැදියම් රැයේදී හෝ එය පහසු නම්, ඔහු ඈ බැලීමට පැමිණෙනු ඇත. නොඑසේ නම්, ඔහු ඇයව දුරකථනයෙන් ඇමතුවේ ය. වැඩි යමක් කියන්න අවශ්‍ය නැහැ, “ඔයා තවමත් විවාහ වූයේ නැත්තේ ඇයි?” කියා අසන හැම අවස්ථාවකදීම ඇයගේ දෑස අඳුරු විය. නමුත් ඈ පෙරලා එවැන්නක් ඇසුවේ නැත. වෙනත් ගැහැණියකගේ ජීවිතය අඳුරු කිරීමට ඇයට අවශ්‍ය නොවී ය. ඈ මතකයන් සිත තුළ රඳවා ගැනීමට අකමැති වූවාය. ඔහු පසුතැවිලි වුවත් නැතත් සියල්ල අවසන් විය. දීප්තිමත් ආලෝකය හමුවේ ඔහු වාඩි වී සිටිය ද, ඈ දෙස වරක් හෝ සෘජුව බැලීමට තරම් එඩිතර නොවූවේ ය.

“දුව හුඟාක් වෙලා නිදා ගන්නවද?”

“ඔව්.. තවමත් ඒවගේමයි. නමය වෙනකොට නින්දට යනවා.”

“ඔයාට කරදර කරනවාද?”.

ඈ සුසුමක් පිට කළාය.

“මේ දවස්වල ගොඩක් වැඩ. මට කතා කරන්න වෙලාවක් ලැබෙන්නේ කලාතුරකින්.”

“ඔව්.. මම දන්නවා.”

කතාබහ නැවතුණි. නිවස තුළ වූයේ දැඩි නිහඬ බවකි. අසල්වැසි නිවැසියන් සියල්ලෝම විදුලි පහන් නිවා දමා නින්දට ගොස් ඇත. පිටතින් නැගෙන හඬට ට්‍රෑම් කිහිප වතාවක්ම හිස ඔසවා සිටියාය. නිවසින් පිටත, සුළඟ සමග ඇදීයන කොළ රොඩු නගන හඬ පමණක් ඇසුණි. කිසිවකු පැමිණෙනතුරු බලා සිටින්නාක් මෙන් ඇයගේ හදවත නොසන්සුන් විය. එය සැමියා නිවසට එනතුරු රාත්‍රී අවදියෙන් සිටි බිරිඳකගේ පුරුද්දක් මෙනි.

“ඔයා තවමත් පොත් කියවනවද?”

“ඔව්.”

“දැන් කියවන පොතේ නම මොකක්ද?”

“අයින් රෑන්ඩ් ගේ ෆවුන්ටන් හෙඩ්.”

මගේ සමාගමේ කිහිප දෙනෙක් අතරත් ඒ පොත එහා මෙහා ගියා. ඒත් ගොඩක් කාලෙකින් කියවන්න හිතක් තිබ්බෙ නෑ. උදේට කෝපි බොන පුරුද්දත් ටිකෙන් ටික අඩුවෙලා ගියා.

“ඇයි ඔයාට කෝපි හදාගන්න බැරි?”

“ඔයාට වගේ හදන්න බෑ.”

මේසය මත වූ දුරකථනය, අක්ෂර කිහිපයකින් ආලෝකමත් විය. ට්‍රෑම් වෙත කෙටි පණිවිඩයක් තිබුණි. එව්වේ කවුදැයි දැන ගැනීමට එය කියවීමට ඇයට අවශ්‍ය නොවූවා ය. පිළිස්සුණු විදුලි බුබුළු මාරු කිරීමට, කැඩුණු උපකරණ සෑදීමට, පැරණි ජනේල තීන්ත ගෑමට ඉඳහිට නිවසට ආවේ ෆී පමණි.

එදින දියණිය පාසල නිම වී නිවසට පැමිණ දොර විවර කරත්ම පිටුපස හැරි හුන් ෆි දැකීමෙන් පියා යැයි ඈ වරදවා වටහා ගත්තාය. තම දියණියගේ ප්‍රීතිමත් හඬ පහව යන බව දුටු ට්‍රෑම් අනුකම්පාවෙන් කඳුළු සැලුවා ය. ෆී බොහෝ විට හුයි මෙන් එකම මෝස්තරයේ කමිස ඇඳ සිටි අතර ඔහු මෙන් උස මහත විය. දිනක් මේසය තල්ලු කිරීමට ෆී නැමුණු විට, ඔහුගේ බෙල්ලේ රතු ලපයක් දකින්නට ලැබුණි.

හුයි සමග වැතිර සිටි අවස්ථාවක ඔහු වෙත එවැනිම රතු ලපයක් ඈ දුටුවා ය. හුයි සමඟ සතුට ගැන කතා කිරීමට ඇයට ඉතිරි වූයේ රතු ලපය පමණි. ඔහුට පෙම්වතියක් සිටින බව දැනගත් දා සිට වසර දෙකක් පුරා ඇයගේ බිඳුණු විවාහයේ ඇලී සිටීමට එම රතු උපන් ලපය සිහිපත් කළේ ය. හුයි සියල්ල අතහැර යන තුරුම, එම රතු ලපය ට්‍රෑම්ගේ වේදනාකාරී මතකයේ උණුසුම් ගල් අඟුරු කැබැල්ලක් මෙන් විය.

ට්‍රෑම් සිතුවේ ඇයව ෆි විසින් පොළඹවා ඇති බවයි. නමුත් හුයි කෙරෙහි ඇයට ඇති වූ හැඟීම් නැවත ෆි පණ ගැන්වූ බව පෙනී ගියේ ය. ට්‍රෑම්ගේ හදවතේ, කිසි විටෙකත් තම දරුවාගේ පියා අත්හැර නොතිබුණි. බන්දේසියේ තිබූ චොප්ස්ටික්ස් ඔහුගේ දෑත සිහිපත් කළේ ය. ඇඳ මත වූ කොට්ට සහ ඇතිරිල්ලේ තවමත් ආදරයේ සලකුණු තිබුණි. ඉඳහිට පැමිණෙන හුයි, දියණිය සමග සෙල්ලම් කරන ආකාරය දෙස බලා, ට්‍රෑම්ගේ හදවත කැළඹී ගියේ ය. තම දුවට සෙනෙහස බුක්ති විඳීමට ඔහුව තමා වෙත නැවත ඇද ගැනීම ගැන ට්‍රෑම් කල්පනා කළා ය. ඈ විදුලි බුබුලක් නිවා දැමුවා නම්, තවත් මතකයක් අවදි කළා නම්, තවත් ප්‍රශ්න කිහිපයක් ඇසුවා නම්, සමහරවිට ඇයට හුයි නතර කරගත හැකි විය. ඒ කිසිවක්ම නොකියා, ඇයට නිහඬවම ඔහුගේ තුරුලට වැටෙන්නට අවස්ථාව තිබුණි.

“ඔයා දැන් කෙට්ටුයි වගේ.”

“බර අඩු කරගන්න යෝග කරන්න තුයි මට බල කළා.”

“දැන් බර අඩුයි. රෑට හොඳට නින්ද යනවා.”

“එත් මගේ බිරිඳ යෝග කරන්න කැමති නැහැ. එයා ඉවසිලිමත් නැහැ. ”

“මගේ බිරිඳ” ඒ වචන දෙක ඇයගේ සිතේ රැඳිණි. එය ට්‍රෑම් හට ඇයගේ ස්ථානය මතක් කර දුන්නේය. ඈ හිටපු බිරිඳ යි, පැරණි තොටුපළ යි. ඈ අතීතයට අයත් වස්තුවක් පමණි. ට්‍රෑම් දිගු සිහිනයකින් අවදි වූ බවක් පෙනෙන්නට තිබුණි. එක්වරම ඔහුට බිත්ති ඔරලෝසුව දෙස බැලුණි. ඒ වන විටත් රාත්‍රී එකොළහ පසු වී ඇති බව ට්‍රෑම් දුටුවා ය.

“දැන් ප්‍රමාදයි. මගේ බිරිඳ දොර ළඟ බලාගෙන ඇති.”

තම පියා ගෙදර එනතුරු බලා සිටින තවත් දරුවෙකුට නිදා ගැනීමට පුරුදු වීමට ඉඩ නොතැබිය යුතු යැයි ඈ සිතුවා ය. ඔහු සුසුමක් පිටකරමින් තවත් කෝපි උගුරක් පානය කළේ ය. තවත් වරක් ඔහු දෑස් කරකවා නිවස ඇතුළත බැලුවේ ය. ට්‍රෑම්ගෙන් වෙන්ව ගිය දිනයේ හිතාමතාම තමා දමා ගිය පැරණි සපත්තු යුගලය ඔහු දුටුවේ ය. එය ඔවුන්ගේ විවාහ දිනයේ ඇඳීමට ඈ විසින් මිලදී ගෙන තිබූ එකකි. හුයි නැගී සිටියේ ය. එළියට යාමට දොර විවර කරන අවස්ථාවේදීම ළපටි නුගකොළ සැලෙන හඬ ඇසෙන්නට විය. එසැණින් හුයි ට අධික සීතලක් දැනුණි. ඒ සිතුවිල්ල හුයිගේ හදකම්පා කරවන්නක් විය. නිවස ඉතා උණුසුම් වුවත් ඔහුට පිටව යෑමට සිදු විය.

“ඔයා හදපු කෝපි තාමත් මට රසයි.”

ඈ මඳ සිනහවක් පෑවා ය. රූපය නොපෙනී යන තෙක් බලා සිටි ට්‍රෑම් නිශ්ශබ්දව හුයිගේ පරණ සපත්තු කුට්ටම රැගෙනවිත් පිටත වූ කුණු කූඩය තුළට දැමුවා ය. ඈ ඉක්මනින්ම නිවස තුළට පැමිණ දොර වසා දැමුවාය. නිවසේ සෑම විදුලි බුබුලක්ම නිවා දැමූ ඈ ඇඳ වෙතට ගොස් තම දරුවා සමීපයේ නිදා ගැනීමට සැරසුණි. පිටතින් හමන සුළඟේ හඬ තවදුරටත් නොඇසෙන සේ ඈ දියණියගේ දෙසවන් ආවරණය කළා ය.

https://divaina.lk/%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8-2/

Nissanka Rajapaksa

unread,
Apr 24, 2025, 8:14:19 PMApr 24
to INDRAKA group

Nissanka Rajapaksa

unread,
Apr 25, 2025, 8:17:52 PMApr 25
to INDRAKA group
8
ගං වතුර

වියට්නාම් ජාතික Luu Th Muoi ගේ කෙටිකතාවක්

පරිවර්තනය
එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ 


“අම්මේ… අම්මේ.. නැගිටින්න නැගිටින්න! ගං වතුර බැහැලා ගිහින්” යැයි නගිප් ගේ පුතා පවසා සිටියේය. “…මට ඊයේ පෙරේදා නින්ද ගියේ නැහැ. මට ටිකක් විවේක ගන්න ඕනෑ පුතේ…” ඈ සුදුමැලි දෑස් විදහා මැසිවිලි නැගුවාය. දුර්වල කෙනකු වෙත සහනයක් ලබා දෙන ලෙස අයැද සිටීමට ඈ උත්සාහ කළද ඇයට එය කළ නොහැකි විය.

“මං ඔයත් එක්කනේ.. මෙහෙට ආවේ.”

දැඩි ගංවතුර පැවති දින කිහිපයේ දී ඈ බොහෝ වෙහෙස වූවාය. ගිලන් රථය අනතුරු ඇඟවීම් හඬ නොකඩවා කරගෙන යද්දී ඈ ප්‍රථමාධාර ගිලන් ඇඳ මත සිහිසුන්ව ඇද වැටුණි. අඩ සිහියෙන් සිටින නගිප් මීට පෙර ඇයට සිදුවූ දේ ගැන අපැහැදිලි ලෙස කල්පනා කළාය.

එදින ඇය කෝන් ගං ඉවුරේ නිහඬව වාඩිවී සිටියාය. ශාන්තව මන්දගාමීව ගලා යන ගඟ නොසිතූ ලෙස පාලනය කළ නොහැකි කැළඹිළි සහිත ජල ධාරාවක් බවට පත්විය. එහි බොර පැහැ ජල කඳ මුහුද දක්වා ඇදී ගියේය. ගඟ සමීපයේ වූ සෑම දෙයක්ම ගිල ගන්නා බවක් පෙනෙන්නට තිබුණි. පසුගිය දින කිහිපය තුළ එහි ජල මට්ටම වෙනදාට වඩා ඉහළ ගියේය. මෝසම් කාලය පුරාම එහි ජල ප්‍රවාහය ඉහළ මට්ටමක පැවතුණි. මේ වසරේ දොලොස්වන කුණාටුව ඉතා භයානක විය හැකි බව වසර මුලදී ගොවීන් වෙත අනතුරු අඟවා තිබුණි. ඔවුන් උත්සාහ කළේ පෙර සිට ඊට සූදානම් වීමටය.

ධාරානිපාත වර්ෂාව දිගටම ඇදහැළුණි. ස්වාභාවික විපත්වලට එරෙහිව සියලු සාධාරණ පියවර ගැනීමට තරුණ ගැමියෙක් ඇය වෙත පැමිණියේය. ඔහු ඇය සතු රූපවාහිනිය, ඇඳුම් ආයිත්තම් කට්ටල සහ වෙනත් කුඩා ගෘහ භාණ්ඩ ඉහළ තැන්හි තැබුවේය. ඇයට අයහපත් අවස්ථාවට ඉක්මනින් මුහුණ දිය නොහැකි වනු ඇතැයි යන බිය ඔහු තුළ පැවතුණි.

“කාලගුණය දරුණු වෙන කොට හැමදේම සිදුවෙලා තියේවි” ඔහු තම බිරිඳ සහ දරුවා රැකබලා ගැනීමට පිටත්ව යෑමට පෙර ඇය වෙත පවසා සිටියේය.

“ඔයා දොර හොඳින් වහගන්න. මෙම පහත් ප්‍රදේශයේ රැඳී ඉන්නවාට වඩා දින කිහිපයක් අපේ ගෙදර ඉන්න එන්න.” ඔහු යළිත් පැවසුවේය.

“අනේ බෑ! මගේ දේපළ, කුකුළ්ලු සහ පැටව් ඉන්න ඊරියන් රැකබලා ගන්න මං මෙහෙ නතර වෙන්න ඕනෑ.” නගිප් පවසා සිටියාය.

කෙසේ වෙතත් තත්ත්වය වඩාත් නරක අතට හැරෙමින් පැවතුණි. සවස තුන පමණ වනවිට විදුලිය ඇණ හිටියේය. ගමේ සියලු මාර්ග ගංවතුරෙන් පිරී ඉතිරී ගියේය. ඇයගේ නිවස පිහිටි ප්‍රදේශය වෙනත් ප්‍රදේශවලින් සම්පූර්ණයෙන්ම හුදෙකලා විය. එකවරම නගිප් ඌරෙකු ඔසවාගෙන නිවසේ ඉහළම ස්ථානයට රැගෙන ගියාය. ඇය කුකුළන්ගේ ආරක්ෂාව උන්ට සළසා ගැනීමට ඉඩ හැරියාය.

මේවන විට නිවසේ මිදුලටම ජලය ගලා ආවේය. ආරම්භයේදී ඈ ලෝහ තහඩුවකින් ගෙමිදුලේ ළිඳ ආවරණය කිරීමට උත්සාහ කළාය. රැස්කළ දර කැබලි ඇයගේ නිවසේ පිටුපස උස් තැනකට රැගෙන ගොස් තැබුවාය. පැය භාගයකට පසු රැස්කළ සියලුම දර කැබලි ගසාගෙන ගිය අතර ළිඳ සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවිය. නිවස තුළට වේගයෙන් දිව ගිය ඇය ලබන වසරේ තම පුතාගේ උපකාරක පන්ති ගාස්තු සඳහා ඉතිරි කළ රන් කාසි කිහිපය සහ ඇයගේ මුදල් රැක ගැනීමට සමත් වූවාය.

ජල මට්ටම දිගින් දිගටම ඉහළ නැංගේය. සවස පහ වනවිට එය එළිපත්තට ළඟා විය. හදිසියේම ඇය ඉක්මනින්ම රාත්‍රී භෝජනය සූදානම් කළාය.

ඈ බත් වලට අමතරව බඳුනක රටකජු ටිකක් පුළුස්සා ගත්තාය. බත් හොඳින් ඉදී ඇති බව පෙනෙන විට ජලය ඇගේ දණහිස දක්වා ඉහළ නැග තිබුණි. ඈ ඇඳ මතට ගොඩ වූවාය. ඌරු පැටියා දිගින් දිගටම කෑගැසුවේය. ඇය තවමත් බලාපොරොත්තු තැබුවේ ඇයට පවුලේ තේ පැන් සංග්‍රහය සවස ඉටුකළ හැකි බවයි. ඇය ඌරු පැටවා කුඩා ලී මේසය මත තැබීමට උත්සාහ කළාය. ඒ මොහොත වනවිට ඇඳේ මෙට්ටය තෙක් ජලය පැමිණියේය.

හිස් ප්ලාස්ටික් බෝතලයක් සොයාගත් ඇය එය රැගෙන ගොස් නළයෙන් උණුසුම් ජලය පුරවා ගත්තාය. තෙතබරිත ඇඳුම් නිසා ඇයට සීතල දැනුණි. තත්පර කිහිපයකින් මඩ සහිත ජලය මේසයේ මතුපිටට පැමිණියේය.

ඇය බත් ටිකක් කෑම සඳහා ඇඳට නැගීමට උත්සාහ කළ නමුත් පිසූ බත් බඳුන වතුරට වැටුණේ, බියට පත් ඌරු පැටියා නිසාය. කඩිමුඩියේම ඇයගේ සිරුර වසා ගැනීම සඳහා ඇඳ ඇතිරිලි කිහිපයක් ඈ අතට ගත්තාය. වතුරෙන් ඇඳ ගිලී ගියහොත් ඊළඟට කුමක් කළ යුතු දැයි ඇයට නොතේරුණි.

“මේ ගංවතුරෙන් පස්සේ මගේ බඩුමුට්ටු ඔක්කොම නැති වෙන්න පුළුවන්” ඈ මිමිණුවාය.

පිටත පරිසරය තව තවත් අඳුරු වෙමින් පැවතුණි. සුළඟ දරුණු ලෙස හඬමින් සිටියේය. ඒ මොහොතේ ඇගේ නිවස සෙලවීමට පටන් ගත්තේය.

වේල්ලෙන් උතුරා ජලය පිටාර යාමත් සමඟ ගඟේ ආරක්ෂක වේල්ල කොතැනකින් හෝ කැඩීගොස් ඇති බවක් ඇයට හැඟුණාය. මොහොතකින් ගංවතුර වඩාත් කැළඹිලි ස්වරූපයෙන් ඇදීයන්නට විය. හදිසියේම ඇගේ දුරකථනය නාද විය.

“ඔව්… මං කතා කරනවා” නගිප් පැවසුවේ කඳුළු පිරි දෙනෙතිනි.

“ඔයා හොඳින්ද අම්මේ?” පාසලේ සිට ඇගේ පුතා ඇයව ඇමතුවේය.

“වතුර කොච්චර ඉහළට ආවද? අපේ පන්තිය දැන් ඉවරයි අම්මේ…”

“මම හොඳින්… පුතා”

“ගංවතුර දරුණුයි. මට ගෙදර එන්න බැහැනේ…”

“ඔව්. අපේ බඩු බාහිරාදිය හැම දෙයක්ම නැති වෙලා.” නගිප් පවසත්ම දුරකථනයේ බැටරිය අක්‍රීය විය. ඇගේ කටහඬ හදිසියේ නැවතුණේය. නගිප් විදුලි පන්දමේ ආලෝකය අඳුරේ සෑම දිශාවකටම යොමු කළාය. ඇගේ ඌරු පැටියා නැවතත් හයියෙන් කෑගැසුවේය.

දැඩි වතුර පහරින් නිවසේ දොර විවෘත විය. එසැණින් අහිංසක සත්ත්වයා දොරකඩ දෙසට ඇදී ගියේය. උසින් පිහිටි ජනේලය ඇගේ

ජීවිතය රැකගත හැකි එකම තැන විය. එය අල්ලා ගැනීමට ඇය උත්සාහ කෙරුවද විදුලි පන්දම ඇයගේ අතින් ලිස්සා වතුරට වැටුණි. ගංවතුර ඇයගේ බෙල්ල දක්වාම පැමිණියේය. දෙතොල් සපාගෙන නගිප් ජනේලය දෙසට ගමන් කළාය. ඈ මහත් වෑයමකින් ජනේල පඩියට නැග ගත්තාය.

“දැන් වහළයට නගින්නේ කොහොමද?” ඈ තමාගෙන්ම විමසුවාය.

කිහිපවරක්ම දෝංකාර දෙන හඬක් ඇයට පහළින් ඇසුණි. එහෙත් ඇයට කිසිවක් නොපෙනුණි. ගතවන සෑම තත්පරයකදීම ඒ හඬ වඩ වඩාත් පැහැදිලි විය. “සමහරවිට කවුරුහරි පීනාගෙන එනවා ඇති” ඈ අනුමාන කළාය.

විදුලි පන්දමක ආලෝක ධාරාව ජනේලය දෙසට යොමුවිය.

“කවුද ඔතන ඉන්නේ?” පිරිමියෙකුගේ හඬක් නැගුණි.

“මම.. නගිප්… මෙහේ!”

“ඔතනම ඉන්න.”

එය ඇයගේ අසල්වැසියාගේ

කටහඬ විය. ඈ කඳුළු සලන්නට විය.

“ජනේලය තදට අල්ලාගෙන මං එනකන් ඉන්න.”

එසේ කියමින් ඔහු ඇය වෙත ළඟාවීමට උත්සාහ කළේය. ඇයට ලබාදුන් විදුලි පන්දමින් නිවස පුරා අඳුර පහකර දැමුණි.

“ජනේලය ළගින් අයින් වෙන්න එපා. ටෝච් එක මගේ දිහාවට අල්ලන්න.”

ඔහු නැවතත් ඇයගේ කාමරය හරහා පිහිනමින් ජනේලය අසලට මේසයක් තල්ලු කළේය.

“කරුණාකර ටෝච් එක මට දෙන්න” ඔහු පවසා සිටියේය.

“දැන් මගේ කරට නගින්න. ජනේලයේ විට්ටම අල්ලා ගන්න. මං මේසයට නැඟ ගත්තාම වහළය යට පරාලය අල්ලා ගන්න.”

අන්තිමේදී ඈ විශාල පරිශ්‍රමයක් දරා පරාලය අල්ලා ගැනීමට සමත් වූවාය. ඔහු ජනේලයෙන් බැස යෑමට පෙර කඹයක් ගැටගසා දුන්නේය.

“බයවෙන්න එපා” ඔහු ඇය වෙත පවසා සිටියේය.

“ඔයාට හුඟාක් වෙහෙස දැනුණොත් කඹයකින් පරාලයට ගැටගසා ගන්න. නරකම තත්ත්වයට පත්වුණොත්, උළු කැට ටිකක් කඩා වහළයට නගින්න උත්සාහ කරන්න.”

ඔහු ඇයව අස්වසන්නට උත්සාහ කළේය.

“ඔයාගෙ උරහිසට උඩින් එල්ලෙන බෑග් එකේ පොඩි විදුලි පන්දමක් ඇති. ඒකෙ වතුර බෝතලයක් එක්ක පොඩි මිටියකුත් තියෙනවා. ඕනෑ වුණොත් පාවිච්චි කරන්න.”

නගිප් ගැන සොයා බලන්න එන්න මිනිත්තු කිහිපයකට කලින් ඔහුගේ

දුරකතනයට ඇමතුමක් පැමිණියේය. ඒ වෙලාවේ ඔහු තම බිරිඳ හා දරුවාට ආරක්ෂිත තැනක් සොයමින් සිට ඇත.

“දැන් මට යන්න වෙලාව ඇවිත්…” ඔහු නගිප් වෙත හැරී පවසා සිටියේය.

“මතක තබා ගන්න… ඒ… ඔයාගෙම පුතා,” ඇය ගොත ගැසුවාය.

“ඔව්…. මං එයා ගැන දන්නවා.”

සුළඟ නැවතුණ බවක් දැනුණද තද වැසි බිංදු දිගින් දිගටම පතිත විය. වතුර මට්ටම එලෙසම පැවතුණි. ක්ෂණික නූඩ්ල්ස් පැකට්ටුව විවෘත කළ ඇය එලෙසින්ම එය හපා කමින් ගිල දැමුවාය. ඇගේ මුහුණ දිගේ පහළට කඳුළු බිංදු පෙරළී ගියේය. නගිප් ඇගේ අප්‍රසන්න ළමා කාලය ගැන සිතුවාය. ඇගේ ජීවිත කාලය පුරාම ඈ කිසි දිනෙක ප්‍රීතිමත් දවසක් භුක්ති විඳ නැත. කුඩාකළ සිටම ඇය තම පියා ගැන දැන සිටියේ නැත. ඇයගේ මව කිසිවිටෙකත් ඇයට ඒ බවක් පවසා නැත.

“උඹ අවජාතකයා” යනුවෙන් ඇය ඔවුන් සමඟ සෙල්ලම් කිරීමට යන විට ගමේ ළමයින් විසින් ඇයව හැඳින්වූවේය. ඔවුන්ගේ කුරිරු වචනවලට ප්‍රතිචාර ලෙස ඇය හඬා වැළපුණාය. වයස අවුරුදු දහයේ දී ඇයගේ මව විසින් තාත්තා ලෙස ඇමතීමට බල කරන ලද මිනිසෙකු ගෙදර කැඳවාගෙන ආවේය.

“තාත්තා නැතුව ඉන්නවට තාත්තා කෙනෙකු ඉඳීම වඩා හොඳයි” ඈ තමාටම පවසා ගත්තාය. සෑම දිනකම ඔහු රාත්‍රියේදී බීමතින් නිවසට පැමිණි ඇයට තදින් පහර දුන්නේය. එහෙත් පාසලේදී කිසිවකු ඇයව අවජාතක දරුවෙකු ලෙස හැඳින්වීමට එඩිතර වූයේ නැත.

ඇය සැබෑ පියෙකු මෙන් ඔහුට ගරු කළහොත් ඔහු ඇයට නිසි ලෙස සළකනු ඇතැයි නගිප් සිතුවාය.

වයස අවුරුදු දොළහේදී ඇයගේ මව ව්‍යාපාර කටයුතු සඳහා ඈත පළාතකට ගිය විට ඇයගේ පවුලේ ජීවන තත්ත්වය තරමක් යහපත් විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇයට සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකිවිය. සුළු පියා ඇයව තරමකට රැකබලා ගත්තේ ඇයගේ යහපත් හැසිරීම සහ පාසලේදී ඇය ලැබූ හොඳ ප්‍රතිඵල හේතුවෙනි.

තෙදිනක ගමනක් සඳහා දුම්රිය ස්ථානය දක්වා නගිප් ගේ මව කැටුව ගොස් ආපසු ඔහු නිවසට පැමිණියේය. එදින රාත්‍රියේ ඇය කිරි වීදුරුවක් පානය කළ අතර මිනිත්තු කිහිපයකට පසු නින්දට වැටුණි. අලුයම අවදිවන අවස්ථාවේ ඔහු ඇය අසල ගැඹුරු නින්දේ නිරුවතින් සිටිනු දුටු නගිප් තමාට භයානක දෙයක් සිදුවී ඇති බව අවබෝධ කරගත්තාය.

අම්මාගේ වේදනාව හැකිතාක් දුරට අඩුකර ගැනීමට ඇය අඳුරු සිදුවීම මතකයේ තබා ගැනීමට උත්සාහ කළාය. ඇගේ වයස අවුරුදු දොළහ වනවිටදී ඔහුගේ දුෂ්ට ක්‍රියාව ඇයගේ මව නොමැති දිනවලදී නැවත නැවතත් සිදුවිය. ඇය මෙම වධහිංසාවෙන් නිදහස් වූයේ හදිසි අනතුරකින් ඔහු මියගිය අවස්ථාවේ සිටයි. තරුණ කාලයේදී තැන තැන සේවය කරමින් නගිප් ජීවිතය ගැටගසා ගත්තාය.

මෙවැනිම දරුණු කුණාටුවකදී ඇය එම ප්‍රදේශයේම තරුණයකු සමගින් ආදරයෙන් බැඳුණි. දෙදෙනාම එකිනෙකාට තදින් ඇලී සිටියහ. කුණාටුව අවසන් වූ විට ඔහු ඇගේ ගර්භාෂය තුළ ජීවයක් තබා ඇයට සමුදුන්නේය. කලකට පසු නගිප් පිරිමි ළමයෙකුගේ මවක වූවාය.

ඇගේ කෙටි ප්‍රීතිමත් අවස්ථාවන් රහසිගතව තබා ගැනුණද ඇගේ කණට පැතිර ගිය කටකතා රාශියක් ඇසුණි. ඇය ප්‍රාර්ථනා කළේ ආධ්‍යාත්මික හා සෙනෙහෙබර ස්වාමිපුරුෂයකු ගැන පමණි. ප්‍රේම සබඳතා තුනක් ගොඩනැඟුණද ඇගේ සිහිනය සැබෑ වූයේ නැත.

වයස අවුරුදු විස්ස වනවිට ඇය සිතුවේ මෙලෙස තනියම ජීවත්වීමට ඇගේ ඉරණම තීරණය කර ඇති බවයි.

පිරිමි ළමයා වැඩෙන තරමට ඔහු තම පියාට සමාන විය. ඔහුගේ මවට අනියම් ස්වාමිපුරුෂයන් තිදෙනෙකු සිටි බවට කටකතා පැතිර ගියේය. ඔවුන් සියලු දෙනාටම වෙනත් භාර්යාවන් සිටියහ. කෙසේ වෙතත්, අවට නිවැසියන්ගේ හාස්‍යජනක ප්‍රකාශ ඇයට දරාගත නොහැකි විය.

“කවුරුහරි මගේ දරුවාට සමච්චල් කළොත්, මම උන්ට පාඩමක් උගන්වනවා…” දිනක් ඇය පවසා සිටියේ දැඩි ආවේගයෙනි.

“අම්මේ! එයාව අතහරින්න,” එක් දිනක් කුරිරු ලෙස වධ හිංසාවට පත්ව සිටි දරුවා වෙනුවෙන් ඔහුට පහර දුන් විට ළමයා තම මවට කීවේය.

“මට මිනිහෙක් නැතිව ජීවත් වෙන්න පුළුවන්” වරක් ඇය තරයේ කියා සිටියාය. අන්තිම වරට ඇය ඇසුරු කළ මිනිසා පසුගිය වසරේ ගංවතුරට හසුව මිය ගියේය. ඔහු බීමතින් නිවසට පැමිණෙන අතර අසල ඇති වේල්ලේ පාමුල වැටී ඇත. දින තුනකට පසුව ගංවතුර බැස ගියේය. ඔහුගේ සිරුර උණ බම්බු ගොඩක තිබී හමුවිය. ඊට පසුව ඇය පිරිමින් ගැන සිතමින් කාලය නාස්ති කළේ නැත.

සීතල ගංවතුර මට්ටම ඉහළ නගිද්දී ඈ භීතියට හා වෙහෙසට පත්ව පරාලය තදින් අල්ලාගෙන සිටියාය. ජලය ඇගේ දණහිස දක්වාත්, ඉණ දක්වාත්, බෙල්ල දක්වාත් වේගයෙන් ඉහළ නැගිණි. ඈ නැගී සිටියාය. තම හිසට උඩින් ඇති උළු කැටවලට නගිප් මිටියෙන් ගැසුවාය. පිටත දිවා ආලෝකය ඇයට දැකගත හැකි විය. පුදුමයකි. ළමයාගේ සැබෑ පියා ඇගේ නිවසට බඩගාගෙන එමින් සිටියේය. අවදි වූ විට, නගිප් තමා හදිසි අනතුරු වාට්ටුවේ ගිලන් ඇඳ මත සිටින බව දැන ගත්තාය. ඔහුට පිටුපසින් ඔහුගේ බිරිඳ විය. ගැලවුම්කරුවාගේ බිරිඳගේ දෑත් අල්ලාගෙන නගිප් ඇයට ස්තූති කළාය.

“මට සමාව දෙන්න… සහෝදරිය, මං… මං…. එයා එක්ක… ආදරයෙන් බැඳී නැහැ… කොහෙත්ම නැහැ. එයා… ඇත්තටම…… මගේ පුතාගේ තාත්තා විතරයි”

ගිලන් ඇඳ රැගෙන යන්නවුන් පසුපසින් සිට ඔහු ද හඬා වැලපුණේය.

“අම්මේ… අම්මේ…” කඳුළින් පිරි දෑසින් ළමයා කෑ ගැසුවේය.

“මම හොඳින්… මගෙ පුතේ! දුක් වෙන්න එපා.” ඈ දුර්වල හඬින් ඔහු වෙත පැවසුවාය.

Nissanka Rajapaksa

unread,
Apr 26, 2025, 8:29:29 PMApr 26
to INDRAKA group
9

කැරම් බෝඩ් එක

- ඉරාන් යූ කුමාරගේ

"යමං කැරම් අතක් ගහන්න. කාලෙකින්නෙ කට්ටිය සෙට් වුණෙත්... " කලකට පසුව හමුවුණු මිතුරන් පිරිස අතර සිටි මුදිතගේ මුහුණ අඳුරු වීමට ගත වූයේ නිමේෂයකි.

" අනේ මට බෑ බන්. උඹලා ගහපන්. "

" අපි තුන්දෙනා අහවල් දෙයක් කරන්නද ? ඇයි උඹ දන්නැද්ද කැරමක් ගහන්න හතරක් ඕනෙ කියල.. ? මෙන්න මෙහෙ වරෙන් බන්. "

මිතුරන්ගේ පෙරැත්ත මත අකමැත්තෙන් වුවද කැරම් බෝඩය ඉදිරිපිට වාඩි වූ මුදිත මොහොතක් නිසොල්මන්ව සිටියේය. නොදැනුවත්වම ඔහුගේ අතැඟිලි වෙව්ලමින් තිබිණි. 

" එහ්.. මොකද බන් ඔය අත වෙව්ලන්නෙ ? කැඳ බීලා වගේනෙ උඹ නම්. ගහපන්කො ඉත්තට හරියට.. "

" කයිවාරුව නම් තියෙනවා මුගෙ. කැරම් ඉත්තෙක්ට ගහගන්න බෑ.. "

තම මිතුරන්ගේ දැඩි සිනහ හඬ මධ්‍යයේ ලැජ්ජාවෙන් මඳ සිනහ පහළ කළ මුදිතගේ මතකය වසර ගණනාවක් ඈතට දිව ගියේය.

*************

"අනේ අම්මෙ මට කැරම් බෝඩ් එක ඉක්මනට අරන් දෙන්නකො.. " කුඩා මුදිත හඬන්නට වූයේ තම මවගේ මඟ අහුරාගෙනය. තම සහෝදරියගේ නිවෙසට කැරම් බෝඩ් එකක් ගෙන ආ දින සිට, ශ්‍රියාලතාට තම පුතුගේ මෙම අඳෝනාව නුපුරුදු නොවීය.

" පුතේ මේ දවස්වල අප්පච්චිට කරදර කරන්න බෑනෙ. නාඬා ඉන්නකො, මයෙ පුතාට අප්පච්චි ඉක්මනටම කැරම් බෝඩ් එකක් අරන් දෙයි... "

පෞද්ගලික ආයතනයක ලිපිකරුවකු ලෙස සේවය කළ, මුදිතගේ පියා වූ පත්මසිරි බොහෝ වෙහෙස මහන්සියෙන් එදා වේල සරි කරවා තම පවුල ජීවත් කරවූ අයකු වූ අතර පවුලේ එකම දරුවා වන මුදිත ඔහුගේ පණ මෙන් විය.

" අප්පච්චි... මට කැරම් බෝඩ් එකක් ගෙනාවද..? "

නිවෙසට ගොඩ වීමටත් පෙර තම පුතුගෙන් ලද පැනය හමුවේ පත්මසිරි නිරුත්තර වූ අතර තම හැඟීම් සඟවා ඔහු සිනාසෙන්නට වූවේය.

" මයෙ පුතාට අප්පච්චි ඉක්මනටම කැරම් බෝඩ් එකක් ගේන්නම්කො. හරිද.. ? "

" ඊයෙත් ඔහොමයි කිව්වෙ පෙරේදත් ඔහොමයි කිව්වෙ. අප්පච්චි හරි නරකයි. " මුදිතගේ බොළඳ වදන්, පත්මසිරිගේ ළය පසාරු කර යනවාක් මෙන් ඔහුට දැනුණි.

" ඒයි... මේ ඇහුණද ? කොල්ලගෙ වැඩේම නාහෙන් අඬන එක කැරම් බෝඩ් එකක් ඉල්ලලා. අද දවස තිස්සෙම මාත් එක්ක ඔට්ටු වෙවී හිටියෙ ඕකට. "

එදින රාත්‍රියේ පසෙකින් නිදමින් සිටි මුදිතගේ හිස පිරිමදිමින් ශ්‍රියාලතා පැවසුවේ ඇඳ විට්ටමට හිස තබා කල්පනාවට බර වී සිටින තම සැමියා වෙතට හැරෙමින්ය.

" හ්ම්ම්... ආපු ගමන්ම මං එක්කත් ඔට්ටු වුණේ ඔය... "

" කොහෙ තියෙන සල්ලියක්ද ඒයි ඕවට වියදම් කරන්න.. ? අපි කන හැටි ලිපා දනී. මට තේරෙන්නැත්තෙ කොලුවට කොහොම ඕක තේරුම් කරන්නද කියල. " ශ්‍රියාලතා සුසුම් මැද තෙපළූ වචනවලට පිළිතුරු ලෙස පත්මසිරිගෙන් ලැබුණේ මඳ සිනහවක් පමණි.

පසුදිනට පහන් වූ අතර, රැකියාවට පිටත් වූ පත්මසිරි තම ප්‍රධානියාගේ කාමරය කරා ඇදුණේ අපේක්ෂාවෙන් යුතු දෑසිනි.

" සර්.. මට පොඩි උදව්වක් ඕනෙ. "

" මොකක්ද පත්මසිරි ? නිවාඩු නම් ඉල්ලන්නෙපා දැනටමත් දරුවගෙ වැඩවලට කිය කිය සෑහෙන්න නිවාඩු අරන් තියෙනවා. " ආයතන ප්‍රධානියාගේ ස්වරය රළු වීමට වැඩි වේලාවක් ගත නොවීය.

" නෑ සර් නිවාඩුවක් නෙමේ. මට පොඩි ඇඩ්වාන්ස් එකක් ගන්න පුළුවන්ද, දරුවගෙ වැඩකට සර්.. "

" මොකක්ද පත්මසිරි මේකෙ තේරුම ? දරුවගෙ වැඩ කිය කිය නිවාඩු ඉල්ලනවයි, ඇඩ්වාන්ස් ගන්නවයි. මේ විදියට ගියොත් මාසෙ අන්තිමට දෙන්න පඩියක් නැති වෙයි. කියන්න කනගාටුයි පත්මසිරි, ඇඩ්වාන්ස් එකක් නම් දෙන්න විදියක් නෑ. "

දැඩි මතධාරියකු වූ ආයතන ප්‍රධානියාගේ වචනය වෙනස් නොවන බව මැනවින් දත් පත්මසිරි දැවෙන හදවතින් යුතුව ඉවතට ගමන් කරන්නට වූවේය.

.............................................

" අප්පච්චි... මගෙ කැරම් බෝඩ් එක ගෙනාවද ? අද අක්කලා මාව එයාලා එක්ක සෙල්ලම් කරන්න ගත්තෙත් නෑ. මටත් එකක් තිබ්බනම් එහෙම වෙන්නෙ නෑනෙ. "

කඩුල්ල පනින විටම ඇසුණු මුදිතගේ පැමිණිල්ල පත්මසිරිගේ දෙසවන් තුළින් විත් හද පත්ලටම කිඳාබැස්සේ පියකුගේ අසරණකම ඔහුට මැනවින් අවබෝධ කරදෙමිනි.

" මයෙ පුතේ අප්පච්චිට අද වැඩ ගොඩාක් තිබුණා. ඒ හන්දා කැරම් බෝඩ් එකක් ගන්න යන්න බැරි වුණානෙ. පුතාට මං අනිද්දාට අනිවාර්යයෙන්ම කැරම් බෝඩ් එකක් ගෙනත් දෙන්නම්. හරිද ? "

" ඇයි අනිද්දා ? හෙට බැරිද අප්පච්චි ? "

" හෙට කැරම් බෝඩ් තියෙන කඩේ වහලලු පුතේ. මං අනිද්දට ගෙනත් දෙන්නම්කො. මෙන්න මං පුතා ආසම බූන්දි ගෙනාවා. මේකත් අරන් ගිහින් කාලා සෙල්ලම් කරන්න.. " මෙතෙක් වේලා කළු වලාවක් සේ දිස් වුණු මුදිතගේ මුහුණෙහි ඇඳුණු සතුටු සේයාව දුටු පත්මසිරි, ආරූඪ කරගත් සිනහව අසුරු සැණෙකින් වියැකී ගියේ ඊළඟ මොහොතෙහි සිතට නැඟුණු සිතුවිල්ල නිසාවෙනි. එනම්, “තව කොපමණ දිනක් පුතුට බොරු කිව යුතුද ? ”යන්නයි.

................................................................

" මොකෝ ඒයි කල්පනා කරන්නෙ කෑම එක අතගගා..? ඕක කාලා ඉන්නකො. "

තම සැමියාගේ නිහඬ බව නොඉවසූ ශ්‍රියාලතා ඇසුවේ හොදි දීසිය ඔහු වෙතට ළං කරමිනි.

" එපා ශ්‍රියා, මේ ඇති මට. මේ... දෙයක් කියන්න තියෙනවා. "

" අර මොකක්ද කියන්න තියෙන්නෙ ? " 

" මං තීරණය කළා හවසට පොඩි ජොබ් එකකට යන්න. "

" මොකක් ? දවස තිස්සෙම මැරිලා මැරිලා හවසට කොහොමද පත්මෙ ඔයා තව රස්සාවක් කරන්නෙ ? " 

පත්මසිරිගේ ප්‍රකාශයෙන් වික්ෂිප්ත වූ ශ්‍රියාලතා විමසුවේ බිඳුණු හඬකිනි.

" වෙන මොනවා කියල කරන්නද ශ්‍රියා.. ? කොල්ලා හැමදාම අඬනවා කැරම් බෝඩ් එකක් ඉල්ලලා. මං අද ලොක්කගෙන් ඇඩ්වාන්ස් එකක් ඉල්ලුවා. ගත් කටටම කිව්වේ බෑ කියලා. අනික් අතට මේ මාසෙම ඇඩ්වාන්ස් කීයක් කියල ගත්තද?"

" හ්ම්ම්.. මහ අමාරු කාලයක් මේක නම් අපිට. ඉතින් මොකක්ද ඔය යන්න හදන රස්සාව ? "

තම බිරිය දෙස බලා දිගු හුස්මකින් ළය සැහැල්ලු කරගත් පත්මසිරි, පිඟානෙහි ඉතිරිව වේලී තිබූ බත් ඇට පොඩි කරමින් වචන ගළපන්නට විය.

" මතකද ටවුමෙ අලුතෙන් දාපු යකඩ ගබඩාව ? අන්න ඒකට දවසෙ කුලියට, “ තාවකාලික මුරකරුවන් ඕනෙ” ය කියල බෝඩ් එකක් අලවලා තිබ්බා. මං හෙට රෑට යනවා ඒකෙ වැඩට. අනිද්දා එන්නම් කොල්ලට කැරම් බෝඩ් එකකුත් අරන්. "

පත්මසිරිගේ වචන හී තුඩු මෙන් ශ්‍රියාලතාගේ හදවත තුවාල කරන්නට වූ අතර නොදැනුවත්ම තම දෙනෙත් අගින් ගැලූ කඳුළු බිඳු තම සැමියාට හොරෙන් පිසදා හැරීමට ඇය අසාර්ථක උත්සාහයක් ගත්තාය.

" ශ්‍රියෝ අඬන්නෙපා මයෙ මැණිකෙ. ඔයයි දරුවයි සතුටින් තියන්න මට කරන්න බැරි දෙයක් නෑ. නාඬා ඉන්න. අපිට බැරි වුණාට සැප විඳින්න අපෙ දරුවන්ට දුක දෙන්න ඕන නෑ. මං හෙට ගිහින් අනිද්දට එන්නම්. කොල්ලත් එක්ක පරෙස්සමට ඉන්න. "

දෙදිනක් ගත විය. මුදිත එදින පාසල් ගියේ වෙනදාටත් වැඩි උද්‍යෝගයකිනි.

මන්ද, එය තමා ආසාවෙන් බලා සිටි කැරම් බෝඩය ගෙන අප්පච්චි පැමිණෙන දිනය බව ඔහු දැන සිටියේය.

පාසල නිම වී ගේට්ටුව අසලට පැමිණි මුදිත වෙනදා මෙන් තම මව නොදුටුවේය. ඒ වෙනුවට එහි සිටියේ තම නැන්දාය.

" නැන්දෙ.. කෝ අපෙ අම්මා ? "

" අම්මට උණ හැදිලා ඉස්පිරිතාලෙ අරන් ගියානෙ. මට කිව්වා ඔයාව එක්කරගෙන අපෙ ගෙදර යන්න කියල.."

" එතකොට අප්පච්චි ? "

" අප්පච්චි වැඩ ඇරිලා එන්නෙ හවසටනෙ පුතේ. අපේ ගෙදර ගිහින් නාලා, කාලා, අක්කලා එක්ක සෙල්ලම් කරමු. හරිද ? "

" අදවත් එයාලා මාව කැරම් ගහන්න ගනියිද නැන්දෙ ? "

" මයෙ පුතාව ගනියි එයාලා. ගත්තෙ නැත්තන් නැන්දා බලාගන්නම්කො. "

නැන්දාගේ නිවෙසට පැමිණි මුදිතට එදින අමුතුම දිනයක් විය. පෙර නොවූ ලෙස ඔහුට සැමගේම අවධානය ලැබෙමින් තිබූ අතර හිතේ හැටියට කැරම් සෙල්ලම් කළ ඔහුගේ සිත ප්‍රීතියෙන් උදම් වී තිබිණි.

" අක්කේ... අද අප්පච්චි එද්දි මට කැරම් බෝඩ් එකක් ගේනවා කිව්වා. ඒක ගෙනාවම ඔයාලත් සෙල්ලම් කරන්න අපේ ගෙදරට එන්න. "

මුදිතගෙ ප්‍රීතිමත් හඬ නිවෙසේ වූ නිහඬතාව බිඳිමින් දසත පැතිරෙන්නට විය. එක්වරම නිවෙස ඉදිරිපිට නැවත්වූයේ ත්‍රිරෝද රථයකි. එයින් බට ශ්‍රියාලතා, නිවෙස තුළ සිටි මුදිත දැක මහ හඬින් හඬමින් පැමිණ ඔහුව වැලඳගත්තාය.

" අනේ මයෙ රත්තරන් පුතේ... මයෙ පුතාට කැරම් බෝඩ් එකක් ගේන්න ගිය අප්පච්චි ආයෙ එන්නෙ නෑ මයෙ පුතේ. අප්පච්චි අපි දෙන්නවම දාලා ගිහින් රත්තරන් පුතේ... " කුඩා වුවද සිදුව ඇති දෙය වටහාගැනීමට තරම් දැනුමක් මුදිත සතු විය. ශ්‍රියාලතාගේ කඳුළු ගංගාවට මුදිතගේ කඳුළු බිඳු එක්වීමට ගත වූයේ සුළු මොහොතකි. දෙදෙනාගේ විලාපය අවට වූවන්ගේ ද නෙත් කඳුළින් තෙත් කරවීමට සමත් විය.

දින ගෙවී ගියේ අවමඟුලේ සියලු වැඩ ද අවසන් කරවමිනි. අප්පච්චිව දැමූ පෙට්ටිය වළට දමා පස් අහුරු දැමූ අයුරු කුඩා මුදිතගේ මනසෙහි තැන්පත් වී තිබුණේ කිසිදා වියැකී නොයන පරිද්දෙනි. පෙට්ටිය බිඳගෙන හෝ අප්පච්චි නැවත තමා වෙතට පැමිණෙතැයි මුදිත තුළ දැඩි විශ්වාසයක් විය. ඔහු සෑම දිනකම අප්පච්චි පැමිණෙන තෙක් පෙර මඟ බැලුවේය.

දිනක් නිවෙසට පැමිණි පිරිසක් මුදිතට කුඩා කැරම් බෝඩ් එකක් ගෙනැවිත් තිබිණි.

" මුදිත පුතා, ආ මෙන්න අපෙන් තෑග්ගක්. මේකත් අරන් ඇතුළට ගිහින් සෙල්ලම් කරන්නකෝ.. "

මුදිතගේ දෙනෙත් සතුටින් පිරී ගියද ඒ සුළු මොහොතකට විය. ඔහුගේ දෙනෙත් ඉදිරියේ නැවතත් අප්පච්චිගේ මුහුණ මැවෙන්නට වූ අතර කිසිවක් නොපවසමින් දෝතට ගත් කැරම් බෝඩය ද සමඟ ඔහු කාමරය තුළට ඇදෙන්නට විය. තම ඇඳ මත කැරම් බෝඩය තැබූ ඔහු කැරම් ඉත්තන් ගෙන ඒ මත අතුරන්නට පටන් ගත්තේ හැඟීමකින් තොරවය. නිවෙසට ආ පිරිස තම මව සමඟ කෙරෙන කතා බහා අතරින් පතර ඔහුගේ දෙසවනට ද ඇසෙන්නට විය.

" ශ්‍රියාලතා අක්කෙ... මොකක්ද ඇත්තටම වෙලා තියෙන්නෙ ? "

" මල්ලිලා දන්නවනෙ, පුතාට කැරම් බෝඩ් එකක් ගේන්න ඕනය කියල අයිය සිකුරිටි ජොබ් එකට ගිය වග. එදා රෑ කවුදෝ මන්දා කට්ටියක් ගබඩාවෙන් යකඩ හොරකම් කරන්න ඇවිල්ලා. අයියා විරුද්ධ වෙලා. අන්තිමට උන් අයියව... "

ශ්‍රියාලතාගේ හඬ වියැකී ගොස් ඉකිය මතුවන්නට වූ අතර නෙත්වලින් දිය නොනවත්වාම ගලන්නට විය.

" ශ්‍රියා අක්කා අඬන්න එපා දැන්. අයියා කාටවත් කරදරයක් නොකරපු මනුස්සයෙක්. එයා හොඳ තැනක ඇති. මේ කොල්ලා කැරම් බෝඩ් එකක් ඉල්ලලා කරදර කළේ නැත්තන් පත්මෙ අයියා අදටත් යහතින්... "

ගත වූයේ සුළු මොහොතකි. කාමරයෙන් ඇසුණු 'දඩහ්.. දඩහ්..' ශබ්දය හමුවේ සියල්ලෝම එහි දිව ගියෝය. කාමරය මැද බිම, අලුත ගෙන ආ කැරම් බෝඩය කෑලි කෑලි වී තිබුණු අතර පසෙකින් වූයේ ඒ දෙස කෝපයෙන්, කඳුළු සලමින් බලාසිටිනා කුඩා මුදිතය.

*************

" යකෝ මේකගේ මනෝ පාරේ තරම.... ඇහැරියන් මිනිහෝ. ඉක්මනට ගහපන් ඔය ඉත්තට.. "

උස් හඬින් ඇසුණු තම මිතුරන්ගේ හඬින් පියවි සිහියට පැමිණි මුදිත මවාගත් සිනහවකින් යුතුව ඔවුන් දෙස බැලුවේය.

“මේ කොල්ලා කැරම් බෝඩ් එකක් ඉල්ලලා කරදර කළේ නැත්තන් පත්මෙ අයියා අදටත් යහතින්...”යන වචන පෙළ මුදිතගේ දෙසවන් තුළ දෝංකාර දෙමින් තිබුණු අතර, නොදැනුවත්වම වැටුණු කඳුළු බිඳු කිහිපයක් කැරම් බෝඩයේ ලෑල්ල තෙමා ඇති බව ඔහුගේ දෑතට දැනුණි.


http://d.silumina.lk/2022/10/01/%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%92/%E0%B6%9A%E0%B7%90%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A-%E0%B6%B6%E0%B7%9D%E0%B6%A9%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A/38659

Nissanka Rajapaksa

unread,
Apr 28, 2025, 12:37:47 AMApr 28
to INDRAKA group
10
පමාව

-  ෂර්මිලා බංදුනී දංවත්ත


            නිමාලි පුංචි අම්මා බැලීමට කැකිරාවේ ආවේ වසර කිහිපයකට පසුවය. පසුගිය වකවානුවේ මංගල උත්සව , දාන හා මළගෙවල් වලදී  තුළදී කිහිප වරක්ම අප මුණගැසුනත් කැකිරාවේ ඒමට ඉස්පාසුවක් නොලද්දේ රාජකාරී කටයුතු , දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී මෙකී නොකී කටයුතු සම්භාරයක් මැද දිනෙන් දිනම ඒ ගමන කල්ගිය හෙයිනි. නමුත් අම්මා අප නිවසට පැමිණි සෑම දිනකම මතක්කර සිටියේ කැකිරාවේ ගොස් එන ලෙසය.
.               නිමාලි පුංචි අම්මා අපේ අම්මා ගේ එක කුස උපන් සහෝදරිය වීමෙන් අම්මා හා සමානම ළබැඳියාවක් ඇය කෙරේ අප සිත් තුළ විය. නමුත් ඇය බැලීම සඳහා නිතර එහි යාමට අප අතර පැවති දුරෙහි ගැටළුව ද බාධාවක් වී තිබිණි. මාත් නංගිලා දෙන්නාත් කුඩා අවධියේ අම්මා රැකියාවට යන අතර තුර අපේ පාළුව මැකීමට ඇය පැමිණ අප නිවසේ නතරව සිටියාය. සෝමා සමග පමණක් අපව නිවසේ දමා යාමට වඩා නිමාලි පුංචී ද සිටීම අම්මාට මහත් අස්වැසිල්ලක් විය. නිමාලි පුංචි අපේ අම්ම ට වඩා වසර දහයක් පමණ බාලය. ඒ දිනවල අපි අම්මාට ද වඩා ඇළුම් කලේ නිමාලි පුංචීටය. නව යොවුන් යුවතියක් වූ ඇය පාසල් ගමන හමාර කර සිටියාය.
                    පසුව ගුරු පත්වීමක් ලැබ කැකිරාව ප්‍රදේශයේ වැඩ බාරගත් නිමාලි පුංචී එහිදීම හමුවූ ගුරුවරයකු වූ අතුලසිරි බාප්පා සමග විවාහ වී කැකිරාවේම පදිංචි වූවාය. පුංචී ගේ විවාහයට අපේ අම්මලා ගේ පවුලෙන් එතරම් මනාපයක් නොදැක්වූයේ දුරෙහි ගැටළුව නිසාය. කැකිරාවේ සිට බස්නාහිර පලාතට මාරුවක් හදාගන්නවාට වඩා කැකිරාවේම පදිංචි වීම පහසු බව එකල පුංචි අම්මා පැවසූ බව මට මතකය.
                   කෙසේ හෝ දෙපාර්ශවයේම ආශීර්වාදය ඇතිව සිදුවූ විවාහයේදී පුංචි අම්මා කැකිරාවට ඇරලවා ඒමට ගිය ගමන අමතක වන්නේ නැත. වන්දනාවක යන්නාක් මෙන් දෑවැද්ද පිරවූ ලොරියද ඉස්සර කරගෙන කැකිරාවට ගියේ බස් රථයකිනි. කැකිරාවේ පිරිස ද මනාලිය පිළිගැනීමට සැදී පැහැදී සිටියේ කළුතරින් එන නෑදෑයන්ට තම ඇති හැකි කම් කියාපාන්නට මෙන්ය. බාප්පා ගේ පැරණි මහගෙදර උඩු වියන් බැඳ සුදු රෙදි ඇතිරූ මේස මත දහවල මංගල මේසය සූදානම් කර තිබූ ආකාරය නෑදෑයින් එකට එක්වූ විට තවමත් කතාකරන මාතෘකාවකි. එදා එහි තිබූ බොහෝ ආහාර පාන අප කෙදිනකවත් රස බලා නොතිබුණු ඒවාය.
                   පෙරදී  මහගෙදර වටකරගෙන තිබූ දිවුල් ගස් යාය  තුනීවී ගොස්ය. මහ ඉඩම කොටස් කර කම්බි ගසා අලුත් නිවෙස් කිහිපයක් ඉදිකර ඇත්තේ බාප්පාගේ සහෝදර සහෝදරියන් ගේ දරුවන් වන්නට ඇත. විවාහයෙන් පසු මද කලක් මහගෙදරම විසූ නිමාලි පුංචිලා ද සුරංගී නංගී ලැබෙන්ටත් පෙරම පාර අද්දරට වන්නට නව නිවසක් ඉදිකරගෙන එහි පදිංචි විය. මහගෙදර අයිති වූයේ අතුලසිරි බාප්පා ගේ බාලම මල්ලී වන නිමල්සිරි බාප්පාටය . දිවුල් ගස් අතරින් ඈතින් පෙනෙන මහ ගෙදර දැන් දකින්නට ඇත්තේ ගරාවැටුණු ස්වභාවයකිනි.
" පුංචි, දැන් මහගෙදර කවුරුත් නැද්ද ?"
" ඉන්නවා
  නිමලසිරි බාප්පා විතරක් ඉන්නවා "
" එතකොට කාන්ති පුංචි අම්මයි දරුවෝ තුන්දෙනයි කොහෙද ?"
" නිමලසිරී කාන්තී දෙන්නා දැන් ඉන්නේ වෙන් වෙලා.
මහ යක්ෂ ගෑණියෙක්.
මිනිහෙකුට වසන්න පුළුවන් ගෑණියෙක් නෙවෙයි එයා.
ඉන්නකොට වට පිට හැමෝම එක්ක ප්‍රශ්ණ.
දරුවෝ නම් හොඳට ඉගෙන ගත්තා.
ඒගොල්ලෝ ගෙවල් හදාගෙන වෙන් වෙලා.
කාන්ති බාල දුව ළඟ ඉන්නවයි කියලා ආරංචියි "
" එතකොට නිමල්සිරි බාප්පා කන්නේ බොන්නේ කොහොමද ?"
" පෙන්ෂන් එක තියනවනේ.
තනියම උයාගෙන කනවා.
අපිත් පුළුවන් වෙලාවට  දෙනවා "
              මගේ හිතට දැනුණේ මහත් ශෝකයකි. එමෙන්ම පසුතැවීමකි. නිමලසිරි බාප්පාගේ තනිවීමට මමත් හේතුවක් වූවාදැයි වැරදිකාර හැඟීමක් මාහට ඇතිවිය. නමුත් එදා මා කළ දෙය කළයුතුම වූ දෙයකි.
                 නිමලසිරි බාප්පා දරුවන් අට දෙනෙකුගෙන් යතුවූ පවුලේ බාලයාය.බාප්පා කීවාට අපට අයියා වන වයසේ ඔහු පසුවිය. කොහොමත් සෙල්ලක්කාර පෙනුමකින් හා ක්‍රියාවන්ගෙන් යුතුවූ ඔහු අප කැකිරාවේ ආගිය විටදී අප සමගද කුළුපගව හැසිරුණේය.
                 එක් සිංහල අවුරද්දකට අප කැකිරාවේ ගිය වෙලාවක අම්මා විමසුවේ
" කෝ නිමලසිරි මල්ලී
අද පේන්න නැත්තේ මොකද ?"     කියාය .
" එයාට ජොබ් එකක් ලැබුණනේ
තැපැල් දෙපාර්තමේන්තුවේ.
වැඩ කරන්නේ කොළඹ.
එහෙ බෝඩිං වෙලා ඉන්නේ "
        පුංචි අම්මා පැවසුවේ 
" මොනවා කරගනීද දන්නේ නෑ " යන කොටසද පිළිතුරට එකතු කරමිනි.
               එකල අතුලසිරි බාප්පාගේ මව එනම් කැකිරාවේ කිරි අම්මා ජීවත්ව සිටි අතර ඇය මහ ගෙදර තනිව විසූවේ වයසට ගියත් හොඳ ශරීර ශක්තියකින් තම වැඩපල තනිව කරගනිමිණි.
           මා සාමාන්‍ය පෙල විභාගයට ලියා ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්නා අතර නිමාලි පුංචි අම්මා ලියා එවා තිබුණේ 
" දුවට පුළුවන් නම් ටික දිනක් අපේ ගෙදර ඇවිත් ඉන්න " යනුවෙනි.
         එකල දැන් වාගේ අමතර පංති උන්මාදයක් නොතිබුණු අතර උසස් පෙළ සඳහා විශයයන් තෝරාගැනීම හා අමතර පංති තෝරාගැනීම සිදුකරන්නේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආ පසුවය. එබැවින් අම්මලා වැඩටත් නංගිලා පාසලටත් පිටව ගිය පසුව නිවසේ ඉතිරිවන්නේ මා පමණි. නිමාලි පුංචි අම්මාගේ ලිපියට පිලිතුරු ලෙස තාත්තා මා කැකිරාවේ ගෙන ගොස් ඇරලුවේය.
               ඒ වන විට කැකිරාවේ කිරි අම්මාද නිමාලි පුංචීලාගේ නිවසේ පදිංචියට පැමිණ තිබුණේ නිමලසිරි බාප්පා සමග අමනාපයෙනි.එයට හේතුව වී තිබුණේ කාටත් නොදන්වාම නිමලසිරි බාප්පා නිවසට  කොළඹින් මනමාලියක කැන්දාගෙන ඒමය. කොළඹ රැකියාව කරන අතරතුර නැවතී සිටි බෝඩිමේ අයිතිකාරිය ගේ දියණිය හා හාදවී ඇය හා විවාහ වී ගමට මාරුවක් හදාගෙන පැමිණිය ද කැකිරාවේ කිරි අම්මා කීවේ
" මගේ කොල්ලා උන් අල්ලගෙන " යනුවෙනි.
අල්ලාගැනීම කෙසේ වෙතත් මනාලියට ඒවන විටද දරුවකු ලැබීමට සිටින බව ගම පුරා ආරංචි වී තිබිණි. මනාලිය එලි පහලියට නොබැස්සාය. වත්ත පුරා වැවී තිබුණු දිවුල් ගස් අතරින් පෙණුන විදියට නම් වැඩි රූප සෝභාවක් නොමැති කෙසඟ තරුණියකි ඇය.
                  වෙනදා අප ආ බව ආරංචි වූ විගසම දුවගෙන එන නිමලසිරි බාප්පා මා එහි විසූ මාස දෙකක පමණ කාලය තුළ කිරි අම්මා බැලීමට වත් එම නිවසට නොආවේය. නමුත් ගේට්ටුව පසුකර යන විටදී හොරෙන් මෙන් ගේ දෙස බලණු ජනෙල් තිර අතරින් මා දැක ඇත. ඉඳහිටක මහගෙදර දෙසින් ගැහැණියක ගේ නොනවතින වචන ප්‍රවාහයක් ඇසුණු අවස්ථාද තිබුණු අතර නිමාලි පුංචි කීවේ
" කාන්ති ගේ කට නම් හරි සැරයි" යනුවෙනි. 
          මා නැවත නිවසට පැමිණි පසු එළඹුණේ අවිවේකී කාලපරිච්ඡේදයකි. උසස් පෙළ සඳහා විද්‍යා විශයන් තෝරාගත් මා හට පාසැල් ගමනත් අමතර පංතිත් පාඩම් වැඩත් අතරතූර වෙනත් බොහෝ දේ මගහැරිණි. නිමාලි පුංචිලා වරක් දෙවරක් පැමිණ ගියද ඇය සමග නිදහසේ කතාබහ කිරීමට හෝ කාලයක් මට නොතිබිණි. නැවත අපි කැකිරාවේ ගියේ කිරි අම්මා ගේ මරණයටය. ඒත් හත් දවසේ බණටවත් නොයිඳ ආපසු පැමිණියේ අප තිදෙනාගේ පාසැල් ගමන නිසාවෙනි.
               මළගෙදරට නිමලසිරි බාප්පා මෙන්ම කාන්ති පුංචි අම්මාද පැමිණ සිටි අතර ඒ වන විටද ඇය කුඩා දරු දෙදෙනෙකු ගේ මවකි. කිසිවෙකු හා හිනාවක් කතාවක් නොකළ ඇය වෙත වූයේ වයසට වඩා මේරූ පෙනුමකි. වෙහෙසින් හෙම්බත්වූ බවක් පලකළ ඇගේ වතෙහි යම් කුරිරු බවක්ද සටහන් වී ඇතැයි එදා මට සිතිණි.
             පළමු වර උසස් පෙළ ලියූ මම නැවත විභාගය කිරීම පිළිබඳව සිතුවේ නැත. ප්‍රතිඵල ආ විගස විද්‍යා ගණිත ගුරු විභාගය ගැසට් කර තිබුණු බැවින් සරසවි යාමක් පිළිබඳවද නොසිතා එම තරඟ විභාගයට පෙනී සිටියෙමි. ඒ අනුව ඉහල ලකුණු ලබා තිබූ මා හට විද්‍යා ගණිත ගුරවරියක ලෙස පත්වීම ලැබී තිබුණේ අනුරාධපුර ප්‍රදේශයේ පාසැලකටය.
" ඔය තරම් දුර යවලා කොහොමද ?"
             තාත්තා පැවසුවත් මා ගේ බලකිරීම උඩ අවසානයේ යැවීමට එකඟ විය. එය දුෂ්කර සේවා පත්වීමක් වුවද මට ලැබී තිබුණේ නගරයට කිලෝමීටර් හත අටක් දුරින් තිබූ පාසලකි. මා සමඟම එකම දිනයේ පත්වීම් ලබාගත් නවක ගුරුවරු කිහිප දෙනෙක්ම සිටි අතර එය තරමක් විශාල මහා විද්‍යාලයකි.
              තාත්තා සමග ගොස් විදුහල්පති මුණගැසී ඔහුගේ දැන ඇඳුනුම් කම මත තවත් ගුරුවරියන් කිහිපදෙනෙක් නැවතී සිටි නිවසකම නවාතැන් ගැනීමට ද හැකි විය. නිවසින් වෙන්වී නන්නාඳුනන අය අතර කල් ගෙවීමට සිදුවීම විනා ගුරු දිවියේ ආරම්භය ප්‍රීතිමත් එකක් විය. ගොවි පවුල් වලින් පැමිණි දරු දැරියන්ගෙන් සමන්විත වුණු එම පාසැල මගේ ඉදිරි වෘත්තීය ජීවිතයට දැමුවේ හොඳ අඩිතාලමකි.
              මා සමගම පත්වීම භාරගත් මා සමගම එකම නවාතැනේ ලැගුම් ගත් වත්සලා මගේ හොඳම මිතුරිය වූ අතර පාසලේදී මෙන්ම ඉන් බැහැරදී ද අප කල් ගතකලේ එකටමය. සති දෙකතුනක් යන විට අප දෙදෙනාගේ සමාගමට තවත් අයෙක් එක්විය. ඒ තමරාය. ඒ ප්‍රදේශයේම අයෙකු වූ තමරා අපට වඩා වසර හත අටකට වැඩිමහලු අවිවාහක ගුරුවරියක වූවාය. තලෙළු පැහැති උසට ගැලපෙන මහතකින් යුතු මනබඳන සිරුරකින් හෙබි ඇය මනාව අඳින පළඳින ප්‍රිය මනාප තැනැත්තියක වූවාය .
             නවාතැනේ උයාගෙන කමින් සිටි වත්සලාටත් මටත් හැමදාම මොනව හෝ ඔතාගෙන පැමිණි තමරා  අප දෙදෙනා සමග කල් නොයවාම බොහෝ කුළුපග වූ අතර ඕනෑම රහසක් අප දෙදෙනා සමග හුවමාරු කරගන්නා තත්වයටද පත්වූවාය. අම්මාත් අවිවාහක අයියාත් සමග විසූ ඇය විවාහය පිළිබඳව විමසනා විට නම් සිනහවක් පා මගහැර ගියාය. නමුත් පාසලේ සංගීත ගුරුවරයා ඇය පිලිබඳ අදහසක් ඇතිකරගෙන සිටීම නම් ඒ වන විට ගුරුමණ්ඩලයට රහසක් නොවීය. නමුත් ඔහුව නොතැකූ තමරා ගේ හැසිරීමෙන් පෙනීගියේ ඇයගේ සිතේ වෙන කිසිවකු පිළිබඳව අදහසක් ඇති බවයි. තමරා ගේ යම් යම් ඉඟි වලිනුත් අපට නොකියනා ගමන්බිමන් වලිනුත් එය සනාථ විය.
                එදවස මා විවාහය පිළිබඳව සිතා නොතිබුණු අතර වත්සලා හිටියේ විවාහ ගිවිසගෙනය. ඇය විවාහ ගිවිසගෙන සිටි සමන්ත ද අප සමගින් බොහෝ කුළුපග විය. තමරාට යම් රහසක් අප හා පැවසීමට තිබුණත් ඇය කුමක් හෝ හේතුවකට ආයාසයෙන් එය වලක්වාගෙන සිටින බවක් වත්සලාටත් මටත් දෙදෙනාටම දැනී තිබිණි. විටින් විට ඇයටම නොදැනී පිටවන වචන වලින් ඇයට අප නොදන්නා පෙම්වතකු සිටිනා බව අප දෙදෙනාගේ ම අනුමානය විය. 
              අනුරාධපුරයට ගොස් වසර දෙකක් පමණ වූවත් තමරා අපට ඇගේ පෙම්වතා පිළිබඳව හරි විස්තරයක් පැවසූවේ හෝ ඔහුව අපට මුණගැස්වීමට උත්සාහයක් දැරුවේ නැත.
   දිනක් උදෑසන සිනා සිසී පැමිණි තමරා
" ඔන්න දෙන්නටම ළඟදිම හොඳ සාරි දෙකක් ගන්න වෙයි "
           කියා පැවසූවාය.
වත්සලාත් මමත් බොහෝ සෙයින් සතුටු වූ අතර අප සිතුවේ තමරා ගේ මංගල්‍යය ආසන්නයටම පැමිණ ඇතැයි කියාය.
             ඉන් මාස දෙක තුනකට පසුව ඇය පැවසූවේ 
 " වෙඩින් එක ගන්න ඉස්සෙල්ලා අලුත් ගෙයි වැඩ ඉවර කරගන්න ඕන කියලා එයා කියනවා" යනුවෙනි.
              තමරා පවසන කතාවල පරස්පර භාවය අපට නොවැටහුනේ ඒ දිනවල ගුරුවරියන් වූවත් අපද අත්දැකීම් නොමැති තරුණ කෙල්ලන් වූ නිසා බව අද මට සිතේ .
                 දිනක් මා හට මනි ඕඩරයක් යැවීමට අනුරාධපුර තැපැල් කාර්යාලයට යාමට අවශ්‍ය විය . මා මේ පිළිබඳව පැවසීමේදී තමරාද ඒ ගමනට එකතු වූයේ ඇයගේම කැමැත්තෙනි. මා ගිය කාරණය අවසන් වූ පසුව තමරා පැවසුවේ
" යමු කෙනෙක් අඳුරලා දෙන්න "
" අරය ද ? "
           මා විමසූ නමුත් සිනහ වූවා මිස තමරා කිසිවක් පැවසුවේ නැත.
               තැපැල් කාර්යාලය තුළට මා කැඳවාගෙන ගිය ඇය
" තැපැල් ස්ථානාධිපති "
             ලෙස නාම පුවරුවක් එල්ලා ඇති කාමරයට ඇතුළු වූයේ හොඳ පලපුරුදු කාරියක පරිද්දෙනි. ඇය පසුපසින් එහි ඇතුළු වූ මා ගල්ගැසී සිටියේ දුටු දර්ශනයෙනි .
එහි සිටියේ නිමලසිරි බාප්පාය.
          අප එකිනෙකා හඳුන්වා දෙන තමරා ගේ හඬ මට ඇසුණේ ඈත ඈත අනන්තයක සිට පැමිණෙන්නාක් පරිද්දෙනි.ඔහුද ගල් ගැසී මා දෙස බලා සිටි නමුත් මා හඳුනන බවක් ඉඟියකින් හෝ පල නොකලේය. ඒ කාලාන්තරය තුළ කතා කලේ තමරා පමණකි. ඇයගේ සිතෙහි කිසිදු කහටක් නොතිබුණු බැවින් අපේ ගොළු බව ඇයට වැටහුණේ නැත.
             අවසානයේ යන්නම් කියා තනි වචනයෙන් නිමලසිරි බාප්පාගෙන් සමු ගත් මා කාමරයෙන් පිටතට පැමිණි වහා ඒ අසල තිබූ පුටුවක ඉඳගත්තේ වැටෙන්නට යන බවක් දැනුණු නිසාය . නමුත් අප දෙදෙනාගේ වෙනස අවංක පෙම්වතියට නොදැනීම ඒ අවස්ථාවේ මහත් සහනයක් විය.
            මෙවන් බරක් දරා පුරුද්දක් නොතිබුණු මට දැනුනේ මහත් අසහනකාරී බවකි. නිමාලි පුංචිට හෝ නිවසට ලියා දැන්වීම ද කළ නොහැක. මට තමරාටද මුහුණ දිය නොහැක. බලාගත් අත බලාගෙන කල්පනා කරන මගේ වෙනස වැටහුණේ වත්සලාටය. මගේ විස්තරය අසා සිටි වත්සලාගේ අදහස වූයේ  වහාම මේ කරුණ තමරාට පැවසිය යුතු බවයි. ඒත් එය පවසන ආකාරය පිළිබඳ වැටහීමක් අප දෙදෙනාටම නොවීය. අවසන හිතට දිරි ගත් මම ඒ විසකුරු සත්‍යය තමරා හා කියා දැමුවේ හඬා වැළපෙමිනි.
              ගහක් ගලක් මෙන් එය අසා සිටි තමරා නැගිට ගියේ වදනක් හෝ නොදොඩාය. පසු දින එයට පසු දින මෙන්ම සතියක් ගතවන තුරුද තමරා පාසැල් පැමිණියේ නැත . අසනීප බව දන්වා විදුලි පණිවිඩයක් එවා ඇති බව දැනගන්නට ලැබිණි. තව දුරටත් බලාසිටිය නොහැකි තැන දිනක් පාසල අවසන් වූ පසුව වත්සලාත් මමත් තමරා සොයාගෙන ඇගේ නිවසට ගියෙමු. අප යන විට නිවස පිටුපස වත්තේ කොහොඹ ගසක් යට වාඩිවී කල්පනා කරමින් සිටි ඇගේ ඒ දසුන කාලයක් යන තුරුම මගේ හිත රිදවමින් මතකයේ තැන්පත්ව තිබිණි.
             දන්නා තරම් සැනසිලි බස් පවසමින් හඬා දොඩා අවසන පසු දින පාසලට පැමිණීමට තමරා කැමති කරවා ගැනීමට අපට හැකි විය. නමුත් නැවත පැමිණියේ අප දැන සිටි තමරා නම් නොවේ. ඇගේ සිනහව කතාව කවුරුන් හෝ සොරාගෙන ගොස් තිබිණි. හිත හදාගත් බවක් මතුපිටින් පෙන්වූ තමරා සුපුරුදු ලෙසම රාජකාරී කටයුතු වල යෙදුනාය. නමුත් වෙනදා මෙන් අප දෙදෙනා සමග සමාගමයට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත.
                 වසර තුනක දුෂ්කර සේවය නිම කළ මටත් වත්සලාටත් ගුරු විද්‍යාලයට ඇතුල්වීමට අවස්ථාව සැලසිණි.නමුත් ඒ ගුරු විද්‍යාල දෙකකටය. කරගතයුතු රාජකාරී කටයුතු බොහොමයක් අතර තමරා හා ගැවසීමට ද අපට අවස්ථාව මද විය. අප අනුරාධපුරය හැරදා එන අවසන් දිනයේ තමරා ගේ ඇස් වලින් රූරා ගැලූ කඳුළු අපව ද හැඬවීමට සමත් විය. ඒ අප එක්ව ගතකල සොඳුරු යුගයක අවසන විය.
                  ගුරු විද්‍යාලයේ සිටි කාලයේත් ඉන් පසුවත් තමරා ගේ නමට පාසලටත් නිවසටත් ලිපි ගණනාවක්ම තැපැල් කළ නමුත් එවාට පිලිතුරු ලැබුණේ නැත. වත්සලා දන්වා තිබුණේද එයමය. පසුව දැනගත් පරිදි අප වෙන්වූ වහාම කැමැත්තෙන්ම මැදවච්චිය පැත්තේ අති දුෂ්කර පාසලකට මාරුවක් හදාගත් තමරා එහි නැවතීමට ගොස් තිබුණි.
              විවාහය, දරුවන් ලැබීම, රාජකාරී කටයුතු ආදී මෙකී නොකී කාරණා සම්භාරයක් අතර තමරා යන මතකය පසෙකට තල්ලු වූවත් නිමලසිරි බාප්පා හමුවූ විට හෝ ඔහුගේ නම සඳහන් වන විටදී නිතැතින්ම තමරා ගේ මතකය අලුත් වේ.
                මා මගහැරීමට බොහෝ සෙයින් උත්සාහ කලත් අහම්බෙන් හෝ හමුවූ විටදී නිමලසිරි බාප්පා කතා කළේ කිසිවක් සිදු නොවූ පරිදිය. අම්මාට ද ඒ රහස නොකී මා රහස රහසක්ම වන්නට ඉඩ හැරියේ නිමලසිරි බාප්පා ගේ පවුල් ජීවිතය පිළිබඳව සිතාය. නමුත් සිදුවී ඇත්තේ අනෙකකි . එම පවුල කොහොමත් දැන් බිඳී ගොස්ය.
              නිමාලි පුංචි අම්මලා ගේ නිවසේ දින දෙකක් නැවතීමට යොදාගෙන තිබූ බැවින් මා මගේ සැමියාව කැමති කරගත්තේ පසු දින උදෑසන තමරා සොයා යාමටයි. කෙසේ හෝ මතක ඇති පාරවල් ඔස්සේ විපරම් කරමින් ගොස් තමරා ගේ නිවස සොයාගැනීමට අපට හැකි විය. නියඟයෙන් දා ගිය ගෙවත්තේ එකම ගසක හෝ මලක් පිපී තිබුණේ නැත. වසා තිබූ දොරට කීප වරක්ම තට්ටු කළ විට දොර හැරිණි. දොරකඩ සිටියේ තමරාය. වයසට වඩා වයස ගිය ස්වභාවයක් පෙන්නුම් කළ ඇය පළමු බැල්මෙන්ම මා හඳුනාගත්තාය.
               ගෙතුළට ගොස් අසුන් ගත්තායින් පසුව එතුළ කැටි ගැසී ඇති අඳුරු පාළුව මා ගත සිත වෙලාගත්තේ සීතලක් පරිද්දෙනි. සුදු මල් මාල පළඳා ඇති තමරා ගේ අම්මාගෙත් අයියාගෙත් පිංතූර දෙක සාලයේ බිත්තියක එල්ලා තිබිණි. මගුල් පිංතූරයක් හෝ දරුවෙකු ගේ පිංතූරයක් සොයමින් දැස මෙහෙයවූවත් එවැන්නක් දක්නට නොතිබිණි. අවසන බැරිම තැන
" කෝ මහත්තයා "
          යනුවෙන් මා විමසූවේ නොවිමසිය යුතු පැණයකි.
මුවට මද සිනහවක් නගා ගත් තමරා
" මහත්තයෙක් නැහැ.
මම බැන්දෙ නැහැ "
         යනුවෙන් පැවසුවේ සැහැල්ලුවෙනි.
එදා මෙන්ම අදත් හැඬුවේ මාය.
හමුවිය යුත්තන් හැමදාම හමුවුයේ පමා වෙලාය.

Nissanka Rajapaksa

unread,
Apr 30, 2025, 1:27:54 AMApr 30
to INDRAKA group
11
දැල 

- ෂර්මිලා බංදුනී දංවත්ත

         දුරකථනය හැඬුවේ උදෑසන මිදුල අතුගා කුණු රොඩු ඉවත්කර මුහුණ අත් පා සෝදගෙන ගෙට ගොඩවුණු මොහොතේමයි.

" කවුද උදේම ?"

කියන කුතුහලයත් එක්කම ඇමතුමට සම්බන්ධ වීමේදී එතුළින් ගලා ආවේ තරුණ ගැහැණු කට හඬක්

" සුභ උදැසනක් ලොකු සර් 

මම නිම්මි "

" නිම්මි"
     
  යන නම ඇසෙද්දීම මගේ මනසේ විදුලි සරක් මෙන් යම් මතකයක් ඇදී ගියේ නිරායාසයෙන්මයි.

මගේ නිහඬ බව නිසාම ඇය නැවතත්

" සර්ට මතක නැද්ද?
මම නිම්මි "

       යැයි පැවසීය.

" නෑ 
  නෑ
මට කොහොමද නිම්මිව අමතක වෙන්නේ

ඉතින් කොහොමද දුව"

යැයි අසද්දීම මගේ හිත කීවේ

" මේ පාර මොන ජරමරයක්ද දන්නේ නෑ " යනුවෙනි.

" හොඳින් ඉන්නවා සර්
මම දැන් කැම්පස් අවුට් වෙලත් අවුරුදු හතරක් විතර වෙනවනේ

ගිය අවුරුද්දේ ගුරු පත්වීමක් ලැබුණා.

සර් , දැන් මම ගමේ ඉස්කෝලේම උගන්වනවා "

" අහන්නත් සතුටුයි.
ගෝලයෙක් ගෙන් ගුරුවරයෙක් අහන්නම සතුටු තොරතුරු ඕවා තමයි "

" සර් , අදනම් මම සර්ට කතා කලේ ආරාධනයක් කරන්න.

ඒ වගේම ලොකු උපකාරයක් ඉල්ලන්න "

එවර නම් මගේ හිත මදක් පසුබෑවා.

" සර්, මම ලබන මාසේ දහ වෙනිදා බඳිනවා.

ගෙදරින් ගෙනාව යෝජනාවක්.

එයා වැඩ කරන්නේ බැංකුවක"

මට දැණුනේ ඉමහත් සතුටක්.

" ඉතින් හොඳයිනේ දුව"

"සර්ටයි මිස්ටයි දෙන්නටම එදාට ආරාධනා කරන්න ඕනෑ.

 සර්, ලබන සෙනසුරාදා මම අම්මත් එක්ක සර්ලගෙ ගෙදර එනවා බුලත් දෙන්න.

ඒකයි කලින් මතක්කලේ.
සර්ල එදාට ගෙදර ඉන්නවද බලන්න"

" එන්න එන්න එදාට අපි ගෙදර ඉන්නවා"

" සර්, සර්ගෙන් මට තව ලොකු උපකාරයක් ඕනේ.
බෑ කියන්න නම් එපා "

නිම්මි හිනාවුනේ කෝල හඬින්.

" ඒ මොකක්ද? "

මම විමසූවේ කූතුහලය හිතේ රඳවාගෙන.

" සර්, මගේ තාත්තා නැතිවුණේ මම දෙක වසරෙදි.මට සහෝදර සහෝදරියෝ කවුරුවත් නැහැ.
පවුලේ මමයි අම්මයි විතරයි . මගේ අම්මා මාව හදාගත්තේ හරිම අමාරුවෙන්. ගාමන්ට් වල වැඩ කරලා ඇඟිලි හිල් වෙනකම් මහලා තමයි මට ඉගැන්නුවේ.
තාත්තා නැතිවූණාට පස්සේ නෑදෑයෝ අපිව අත්හැරියා. ඉන්නවත් හරියට තැනක් තිබුණේ නැහැ. කුලී ගෙවල් මාරු කර කර තමයි අපි හිටියේ.
දැන් තමයි අපිටම කියල පොඩියට ගෙයක කොටසක් හදාගෙන පදිංචි වෙලා ඉන්නේ.

ඉතින් සර් , ඒ කාලේ නොහිටිය නෑයෝ දැන් මට ඕනම නැහැ "

"සර්ට පුළුවන්ද තාත්තා වෙනුවට මාව පෝරුවට නග්ගන්න?"

මගේ කන් මටම අදහගන්න බැරි වුණා.
මදක් නිහඬව සිටි මම කට හඬ අවධි කලා.

" අනේ දරුවෝ ඔය වගේ භාරධූර වැඩකට නෑයෙකුත් නොවන මම සුදුසුද ? "

" අනේ ඇයි සර් එහෙම කියන්නේ?
සර්ට වැඩිය සුදුස්සෙක් කොහෙද ඉන්නේ? "

මගේ තාත්තා නිසා මම මේ ලෝකෙට බිහිවුණාට මගේ ජීවිතය බේරගත්තේ සර්.

සර් නොහිටියනම් මේ වෙනකොට මම මේ ලෝකේ නැහැ.

ඒ නිසා මගේ තාත්තා වෙනුවට සුදුසුම කෙනා සර් "

නිම්මි කිව්වේ හැඬුම් බරව.

" හරි
  හරි
මම එන්නම් දරුවෝ"

ඒ හැර කියන්න වෙන දෙයක් මටත් හිතාගන්න බැරි වුණා.

දුරකථනය විසන්ධි වූවාට පසුව උණුවතුර බෝතලයේ දමා තිබූ කෝපි කෝප්පයට වක්කර ගෙන ඉස්සරහ හාංසි පුටුවේ දිගෑදුනේ උදෑසන පත්තර කාරයා ගෙනත් දුන් පත්තරය බලන්න හිතාගෙන. උදේටයි දවල්ටයි දෙකටම උයලා තියලා ප්‍රියානි පොඩි දුවලගෙ ගෙදර ගියේ පාන්දරින්මයි. දුවගේ බබා බලාගන්න එන සිරියා අසනීපෙන් කියලා ඊයේ හවස තමයි පණිවිඩය ලැබුණේ. දුවටත් අත්‍යවශ්‍ය රාජකාරියක් යෙදිලා තිබුණ නිසා ප්‍රියානි අදට බබා බලාගැනීමේ රාජකාරිය ස්වේච්ඡාවෙන් ම භාරගත්තා.
               මිදුල නැවතත් හැඩිවෙලා. සර සර හඬින් වියලි කොළ සුලඟේ ඇදී යන්නේ ගසින් මිදුනාට පසුව ලද නිදහස භුක්ති විඳින්නාක් වාගෙයි. පත්තරේට ඇහැ යොමු කරන්නට උත්සාහ කලත් එහි අකුරු මත නොරැඳුණු මගේ සිත නිම්මිගෙන් ලද ඇමතුම නිසා පණ ලැබූ අතීත මතක ඔස්සේ දිවගියා.
              මෙයට වසර හතරකට පමණ පෙර මා විශ්‍රාම ලැබූ ආසන්නයේම දිනයක්. ඇමතුම ලැබෙනකොට මැදියමට ආසන් වෙලා. ඇඳේ හාන්සිවී පොතක් කියවමින් සිටි මම ඇමතුම ගන්දෝ නොගන්දෝ කියා පමා වූයේ ඒ තරම් රෑ බෝවී නොදන්නා අංකයකින් ලැබෙන්නේ නැති කරදර ඇතිකරන ඇමතුම් බව අත්දැකීමෙන්ම දන්නා නිසයි.
                ඒ වෙනකොටත් ප්‍රියානිට නින්ද ගිහින්. නමුත් පුදුමයකට මගේ හිත කිව්වෙම ඒ ඇමතුම ගන්න කියලමයි. ප්‍රියානිට බාධාවක් නොවන ලෙස ඇඳෙන් නැගිටලා කාමරයෙන් එලියට ගිය මම ඇමතුමට සම්බන්ධ වුණා.

" හලෝ "

" හලෝ
 ලොකු සර්
මම නිම්මි "

දුරකථනය ඔස්සේ ගලා ආවේ තරුණ ගැහැණු කටහඬක්. ඒ වගේම ඇගේ ස්වරයේ යම් තැති ගැනීමක් මෙන්ම හැඬුම්බර ස්වරයක්ද තිබුණා.

" නිම්මී කියන්නේ....."

" සර් , මම මහා විද්‍යාලයෙන් ඒ ලෙවල් පාස් වෙලා පේරාදෙනි ආපු නිම්මී "

එහෙම කිව්වහම නම් මට නිම්මී කියන්නේ කවුද කියන එක අඩමානයට වගේ මතකයට ආවා.

" සර්, මම සර්ගේ නම්බර් එක ඉල්ල ගත්තේ ජයන්ති මිස්ගෙන්
ඒත් වෙන මොකුත් මම මිස්ට කියන්න ගියේ නැහැ"

" අනේ සර්, මම ලොකු කරදරයක වැටිලා
මට මොනවා වෙයිද දන්නේ නෑ සර් "

දුරකථනය එහා කෙලවරෙන් ඇසුනේ සිහින් ඉකිබිඳුමක හඬක්.ඒ නිසාම මගේ හිතටද නැගුනේ චකිතයක්.

" මොකක්ද මේ වෙන්න යන්නේ "

" අඬන්නේ නැතිව කියන්න දරුවෝ මොකද වුණේ "

" සර්,
අනේ සර්,
මම මිනී මැරුමකට අහුවෙලා"

මම තත්පර කිහිපයකට ගොළු වුණා.

" මොකක්
ඒ කොහොමද
කාගේ මිනී මැරුමටද "

" මම ඔක්කොම කියන්නම් සර්

ඒත් සර්, තව ටිකකින් මාව ගෙනියන්න හොස්ටල් එකට පොලිසියෙන් එයි

මෙහෙට පොලිසියෙන් ආවොත් හැමෝම දැනගන්නවා

මට ඉඳලා වැඩක් නැහැ
මැරෙන එක ඊට හොඳයි සර්"

 " කවුද ඔයාට ඔහොම දෙයක් කිව්වේ
කාවද ඔයා මැරුවේ
මට මේ මොකුත් තේරෙන්නේ නැහැ"

මීට මාස හතරකට විතර ඉස්සර උදේක නොදන්නා නම්බර් එකකින් මට කෝල් එකක් ආවා
කතා කලේ පිරිමි කෙනෙක්
කතාකල කෙනා ඇහුවේ පිරිමි නමක්
මම වැරදීමක් කිව්වහම සමාව ඉල්ලලා කෝල් එක කට් කලා 

ඒත් එදාම හවස ආයෙත් ඒ නම්බර් එකෙන්ම කෝල් එකක් ආවා
කතාකල කෙනා කිව්වේ උදේ මම කතාකල විදියට එයා මම ගැන හුඟක් පැහැදුනා මගේ අකමැත්තක් නැත්නම් මාත් එක්ක පොඩ්ඩක් කතාකරන්න කැමතී කියලා
ඇත්තටම සර් එයා කතාකල විදියට මාවත් ඇදිලා ගියා
ටිකක් කතාකලාට කමක් නැහැ කියලා මටත් හිතුණා.
දන්නෙම නැතිව අපි දෙන්නා දිගින් දිගටම කතාකරන්න පටන්ගත්තා.
එයා එයාගේ ඔක්කොම විස්තර මට කිව්වා
මමත් මගේ විස්තර එයාට කිව්වා
අපි අතර කිසිම රහසක් නැහැ කියලා දැනෙන තරමටම කතාවෙන් අපි ලං වුණා "

" එයාගෙ නම එරංග සමරවික්‍රම
ගම වැලිමඩ
වැඩ කරනවා කිව්වේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයක
දැනට කොටුවේ පොලිසියට අනුයුක්තව ඉන්නවා කියලයි කිව්වේ
හුඟක් වෙලාවට රාජකාරි කරන්නේ සිවිල් ඇඳුමින් කියලත් කිව්වා

අම්මයි තාත්තයි නංගී මල්ලී ගැන විතරක් නෙවෙයි පවුලේ ඔක්කොම තොරතුරු මාත් එක්ක කිව්වා"

" එතකොට ඔයගොල්ලෝ හම්බවෙලා තියනවද"

" අනේ නෑ සර්
එයා කොළඹ ඉන්න නිසා රාජකාරී වැඩී නිවාඩු ගන්න අමාරුයි කිව්වා
ඒත් අපි ෆෝන් එකෙන් නිතර පිංතූර හුවමාරු කරගත්තා.
දවසට දෙතුන් සැරයක් කතාකරන නිසා හමුවීමක අඩුවක් ඒ තරම් දැනුනේ නැහැ
අපි අදහස් වලින් ඒ තමටම කිට්ටු වුණා සර්"

" ඒත් මේ විභාගය ඉවර කරලා මම ගෙදර යන දවසට අපි කොළඹදි මූණගැහෙන්නයි තීරණය කරගෙන හිටියේ "

නිම්මි නැවතත් ඉකිබිඳින්න පටන්ගත්තා.

නොදන්නා අපරාධයක සැක කාරියක වීමේ බරද තම ප්‍රේමවන්තයා අහිමි වීමේ දුකද ඒ කඳුළු අතර තිබෙන බව මට දැනුණා.

" සර් මේ මගේ අවසාන විභාගය
හෙට උදේටත් පේපර් එකක් තියෙනවා.
ඒත් සර්, හෙට උදේ වෙන්න කලින් පොලිසිය ඇවිත් මාව අරගෙන යයි.

හොස්ටල් එකට පොලිසිය ආවොත් හැමෝම දැනගනී.

හැමෝම මාව සැක කරයි
මොන ලැජ්ජාවක්ද
අනේ සර් ,
මට මැරෙන එක ඊට 
වැඩිය හොඳයි
ඒත් සර් මගේ අම්මා...
අම්මට ඉන්නේ මම විතරයි"

"එතකොට ඔය මිනී මැරුමට ඔයා සම්බන්ධයි කියලා කියන්නේ කොහොමද ?"

" එරංග මැරෙන්න කලින් එයාට අන්තිමටම කෝල් එක අරගෙන තියෙන්නේ මගේ නම්බර් එකෙන්ලු.
ඒ නිසා ප්‍රධාන සැක කාරයා මමලු"

" ඒක ඇත්ත සර්
ඊයේ හවස පහට විතර මමයි කෝල් එක ගත්තේ
අපි ගොඩක් වෙලා කතා කරකර හිටියා "

" එතකොට මරලා දාලා තියෙන්නේ කොහේදි ද?"

" පුදුමෙ කියන්නේ 
මරලා දාල තියෙන්නේ නුවර වැව අයිනේ පාළු තැනක ගහක් යට "

" ඒත් සර් ,
මට එරංග කිව්වේ නැහැ එයා නුවර ඉන්න බවක්.

මම එරංගගේ නම්බර් එකට කෝල් එකක් ගත්තා
ඒක වැඩ කරන්නේ නැහැ"

 
ඒ වෙනකොට මට ඒත්තු ගොස් හමාරයි මෙය ප්‍රෝඩාවක් බව. සූක්ෂමව වියූ දැලක මේ අසරණ ගැහැණු දරුවා පැටලී ඇති බව"

නමුත් නිම්මී සිටියේ පහසුවෙන් ඇගේ බය දුරුකල හැකි තත්වයක නොවන බැවින් මෙය මැනවින් ඇයට ඒත්තු යන ලෙස පහදා දිය යුතු අවස්ථාවක් වුණා.
හදිසි බිය හෝ ලැජ්ජාව නිසා ඇය ඇගේ ජීවිතයට අනතුරක් කරගත හැකි තැනකයි ඒ වන විට නිම්මී හිටියේ.
                  සැබවින්ම මෙවැනි මිනීමැරුමක් කර නිම්මීව එයට පටලවන්නට හදනවාද යන සාධාරණ සැකයකුත් ඒ මොහොතේ මගේ සිතෙහි මතුව ආවා.

 " අහන්න නිම්මී
ඔයා කලබල වෙන්න එපා දරුවෝ
අපි තව ටිකක් බලමු.
අපි හරියටම දන්නේ නැහැනේ ඕක හරියටම ඇත්තක්ද බොරුවක්ද කියන එකවත්
ඔයා කලබල වෙලා මොකුත්ම කරගන්න හිතන්න වත් එපා
ඕනම දෙයකට විසඳුම් තියෙනවා"

" ඔයා යාළුවෙකුට වත් මේ ගැන කිව්වේ නැහැ නේද ?"

" අනේ නෑ සර්
කාටවත්ම කිව්වේ නැහැ
මගේ හිතට ආවේ ලොකු සර් විතරයි
සර්, ඉස්කෝලේ දී ප්‍රශ්න විසඳපු හැටි දැකලා තියනවනේ
මට විශ්වාසයක් තියන්න පුළුවන් සර් ගැන විතරයි "

" සර්,
මට ආයෙත් පොලිසියෙන් කෝල් කරනවා "

" හරි
ඔයා ඒ කෝල් එක අරගෙන ඒගොල්ලෝ කියන විස්තරය මට ඉක්මනටම කියන්න "

         දුරකථනය විසන්ධි වූ පසුව මට දැනුණේ කරකවා අතහැරපූ ගතියක්.

" මොකක්ද මේ

එක්වරම හිතාගන්න බැරි වුණත් මේ මුළු සිද්ධියම බොරුවක්

ලොකු බොරුවක් "

ඒත් ඒ වෙලාවෙ කතා කරන්න කෙනෙක් මට සිහියට ආවෙත් නැහැ. පොලිසියේ හෝ රහස් පොලිසියේ අඳුනන අයෙක් එක් වරම සිහියට නැගුනෙත් නැහැ. එහෙම හිටියත් ඒ වගේ මහ රාත්‍රියක කතා කරන්න අංක දැනගෙන හිටියෙත් නැහැ.

 ඒත්,

"මේ දරුවා වෙනුවෙන් මොකක්ම හරි දෙයක් කරන්න ඕන"

කියන සිතුවිල්ලෙයි මම හිටියේ.

පැන්ට්‍රියට ගොස් වතුර වීදුරුවක් පුරවගෙන පුටුවක් ඇදන් වාඩි වෙන්න හදනකොටමයි ප්‍රියානි නැගිටලා ආවේ

" මොකද මේ
ඇයි, නින්ද යන්නේ නැද්ද ?"

මුලින්ම කියන්න නොසිතුවත් ඒ වෙලාවේ හැටියට මේ ප්‍රශ්නය බෙදාගන්න හොඳම කෙනා හැටියට මට පෙනුණේ ප්‍රියානිව. ඒ නිසා මම මුළු කතාවම සැකවින් ප්‍රියානිට කිව්වා.

ඒ අතරෙයි නිම්මි නැවත කතා කළේ.

" අනේ සර්,
මම ඉවරයි සර්
ඒ ගොල්ලන්ට දැනට ඉන්න එකම සැක කාරයා මමලු"
" ඒත් සර්, ඒ කතාකරපු අයගේ හොඳම යාළුවෙක්ලු එරංග

මං ගැන ඔක්කෝම විස්තර එරංග ඒගොල්ලෝ එක්ක කියලා තියෙනවලු.

ඒ නිසා ඒ ගොල්ලන්ට කරන්න පුළුවන් එකම උදව්ව මං වෙනුවෙන් කරන්නම්ලූ "

" ඒ මොකක්ද? "

" මට හෙට උදේ අටට නුවර ස්ටේෂන් එක ළඟට එන්නලු.

එතනින් මාව පොලිසියට එක්කගෙන ගිහින් කට උත්තර අරගෙන පරීක්ෂණ කරලා ආයෙමත් ස්ටේෂන් එක ළඟට ගෙනත් බස්සන්නම්ලූ "

" එතකොට හොස්ටල් එකේ වත් කැම්පස් එකේ වත් කවුරුත් මේ ගැන දැනගන්නේ නැති නිසා මට ප්‍රශ්ණයක් වෙන්නේ නැතිලූ 

සර්, ඒක හොඳයි නේද?
මම එහෙම කරන්නද?
එතකොට මට කැම්පස් එකේ අය මේ කතාව දැනගන්න ලැජ්ජාවෙන් බේරෙන්න පුලුවන් සර්"

 " අනේ සර් , මට කියන්න "

" ඒ ගොල්ලන්ටත් තේරෙනවලූ මම අහිංසක බව
ඒ නිසා නීතියට පිටින් හරි මට මේ චන්ස් එක දෙන්නම්ලූ "

      එය ඇසෙන විටම ඉඳගෙන හිටපු පුටුවෙන් මාව නැගිට්ටුනේ ඉබේටමයි.

" එපා එපා නිම්මී 
එහෙම මොකුත් කරන්න එපා
කීයට වත් ඔය කියන තැනට යන්න එපා
ඔයා දැන් ෆෝන් එක තියන්න
මගේ පරණ ගෝලයෙක් ඉන්නවා පොලිසියේ ලොක්කෙක්
මම එයාට කතාකරලා කරන්න ඕන මොකක්ද කියලා දැනගෙන ඔයාට කතාකරන්නම්
එතකම් කිසිම කෙනෙකුට කියන්නවත් මොනවත් කරගන්න වත් එපා "
          
     දුරකථනය විසන්ධි කරලා මම පුටුවේ වාඩි වුණා.ඒ වෙනකොට ප්‍රියානි කෝපි හදලත් ඉවරයි.කෝපි කෝප්පය තොළගාන ගමන්ම කතාවේ ඉතුරු ටික ප්‍රියානිට කිව්වා.

" එතකොට ඇත්තටම ඔයා කාටද කතාකරන්න හදන්නේ ?"

" පිස්සුද ප්‍රියානි
මම එහෙම කාවවත් දන්නේ නැහැ
ගෝලයෝ නම් පොලිසියේ ඇති
ඒ උනත් ඒ නොම්මර මම දන්නෙත් නැහැ
දැනගත්තත් මේ මහ රෑ කොහොමද කතාකරන්නේ "

" ඒත් ප්‍රියානී මට හොඳටම විශ්වාසයි ඔය මුලු කතාවම මේ ළමයව කොටු කරගන්න ගහපු උප්පරවැට්ටියක් කියන එක "

 " ඔව්
මටත් හිතෙනවා "

පුදුමෙකට මගේ අදහසට ප්‍රියානිත් එක් වරම එකඟ වුණා.

" දැන් ඔයා මොකක්ද ඒ ළමයට කියන්න යන්නේ?"

" ඔයා බලාගෙන ඉන්නකෝ මම මේ ප්‍රශ්නය විසඳන හැටි "

 පැය කාලක් ගිය තැන මම නිම්මිගේ අංකයට ඇමතුමක් ගත්තා. 

" නිම්මී, 
දැන් ඔක්කොම හරි දරුවෝ
ඔයා බයවෙන්න එපා
මගේ පොලිසියේ ඉන්න ගෝලයා ඔක්කොම බලාගන්නම් කිව්වා
මේ දැන් ඉඳලා ඔක්කොම තොරතුරු හොයලා එයා මට කියනවා කිව්වා
ඒත් ඔයාට ඒ කිව්ව තැනට නෙවෙයි කැම්පස් එකෙන් පිට අඩියක්වත් යන්න එපා කියලා කිව්වා
මම හෙට පාන්දරින්ම තොරතුරු හොයාගෙන ඔයාට කතාකරනවා
හෙට උදේ තියන පේපර් එක ඔයා ලියන්න ඕනේ
දැන් ඒකට ලෑස්ති වෙන්න "

" සර්,
සර්ට ගොඩක් පිං සර්
මගේ බය ටිකක් හරි අඩු වුණේ දැන්
සර් මට උදේට කතාකරනවා නේද "

" ඔව් දරුවෝ
ඔයා විභාගයට යන්න කලින් සතුටුදායක තොරතුරක් දෙනවා "

නිදාගන්නට ඇඳට ගියත් මටයි ප්‍රියානිටයි දෙන්නටම හරියට නින්ද ගියේ නැහැ.
පාන්දරින්ම නැගිට්ට මම පත්කරකාරයා එනකම් නොයිඳ පත්තර කඩයට ගිහිං එදා උදේ පත්තර ටික ඔක්කොම ගෙනාවා.
          මම නැති අතරේ ප්‍රියානි ටී වී චැනල් වල යන ප්‍රවෘත්ති බලලා තිබුණා.ඒ එකම පත්තරයකවත් ටී වී චැනල් එකක වත් මිනී මැරුමක් ගැන සඳහන්ව තිබුණේ නැහැ 
            උදේ හතහමාර වෙනකොට මම නිම්මිට ඇමතුමක් ගත්තා .නිම්මිගේ හඬේ තිබුණේ මුළු රාත්‍රියම නිදි වැරූ බවක්.වෙහෙසකර ගතියක්.
 
" දරුවෝ ඔයා බයවෙන්න එපා
මට දැන් මගේ ගෝලයා කතාකලා
ඊයේ දවස ඇතුළත පොලිස් නිලධාරියෙක් තියා මොනම මනුෂ්‍ය ඝාතනයක් වත් සිද්ධ වෙලා නැතිලු.
එයා තවත් හොයනවා කිව්වා.
ඔයාට පොඩ්ඩක්වත් බය නැතුව විභාගයට මුහුණ දෙන්න කිව්වා.

ඔයා විභාගය හොඳට ලියලා ඇවිත් මට කතාකරන්න.

එතකම් මම තවත් තොරතුරු හොයන්නම් "

ප්‍රියානී මායි එකතුවෙලා හැම චැනල් එකම දිවා ප්‍රවෘත්ති බැලුවා. කිසිම චැනල් එකක මිණී මැරමක් ගැන සඳහන් වුණේ නැහැ. මෙය සූක්ෂම ලෙස වියූ දැළක් බව අපට මනාව වැටහුණා.
      
  දහවල් විභාගය නිමවී පැමිණි නිම්මී පැවසුවේ ඇයව සොයාගෙන පොලිසිය හෝ වෙන කිසිවෙක් සරසවි බිමට නොපැමිණි බවයි.මා ඇයට උපදෙස් දුන්නේ තවදුරටත් කිසිවක් සිදු නොවූ ලෙස තමන්ගේ කටයුතු කරගෙන යන ලෙසයි.එමෙන්ම තනිව සරසවි බිමෙන් පිටව නොයන ලෙසයි.

        අවසාන විභාගයෙන් පසු සරසවියෙන් පිටවූ නිම්මී නිවසට පැමිණි විගසම මවත් සමග අප නිවසට පැමිණියා. බුලත් අතක් රැගෙන විත් මටත් ප්‍රියානිටත් දෙදෙනා ම දන ගසා වැන්දා . නිම්මිගේ මව එදා අපට ස්තුති කලේ හැඬූ කඳුලෙන්. කිහිප වරක්ම නිම්මී ඇමතුම් ගත්තත් දැනට අවුරුදු දෙකක පමණ කාලයක සිට අප අතර කතාබහ නැවතුනේ මමත් ප්‍රියානිත් පුතා සමග විසීමට වරින් වර ඕස්ට්‍රේලියාවට ගිය නිසයි .
          කල්පනාවේ නිමග්නව සිටිනා අතරතුර මදක් පුටුව උඩම නින්ද ගොස් සිටි මම පාරේ ගමන් කල වාහනයක නලා හඬින් අවධි වී බලද්දී ඉර මුදුනටත් නැගලා . ගේට්ටුව අතරින් පෙනුනේ කුඩයක් ඉහලාගෙන කුඩා පාසැල් දැරියක් අතින් අල්ලගෙන යන මවක්.

"තවත් නිම්මී කෙනෙක්" 

මට ඉබේටම සුසුමක් හෙලුනා

Nissanka Rajapaksa

unread,
Apr 30, 2025, 10:11:05 PMApr 30
to INDRAKA group
12
ආශ්චර්යය

පන්ජාබ් ලේඛක කර්තාර් සිං ඩූගල්
(පන්ජාබ් බසින් The Miracle නමින් ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද්දේ ඉන්දීය ලේඛක කුෂ්වන්ත් සිංග් විසිනි.)

පරිවර්තනය – අනුර බී. සෙනෙවිරත්න

“ඉන්පස්සේ ගුරුන්වහන්සේ ගියේ ගහක් කොළක් නැති පාළු කාන්තාරයකට. එහෙ හරි ම රස්නෙයි. ගිනියම් ඉර ගල් වැලි උණුසුම් කළේ හරියට හිතක් පපුවක් නැතුව වගෙයි. ගස් කොළං වේලිලා පිච්චිලා ගිහින්. කිසි ම හැලහොල්මනක් නැහැ. පේනතෙක් මානෙක මිනිස් පුළුටක් නැහැ. පණ තියෙන සතකුගේ හෝඩුවාවක්වත් නැහැ”

“ඊට පස්සෙ මොකද වුණේ අම්මා?” මම කලබලයෙන් ඇසුවෙමි.

“ගුරුන්වහන්සේ ඉදිරියට ම ගමන් කළා. ඔහු හිටියෙ කල්පනා කරමින්. ඔහුගේ ගෝලයා හිටියේ හරි ම පිපාසෙන්. ඔහු වතුර ටිකක් ඉල්ලුවා. ඒ හරියෙ කොහෙද වතුර ! ඒ නිසා ගුරුන්වහන්සේ මෙහෙම කිව්වා.”

‘ටිකක් ඉවසන්න. අපි ඊළඟ ගමට ගියා ම… ඔබට හිතේ හැටියට වතුර බොන්න පුළුවන්.’

“ඒත්..බොහොම පිපාසෙන් හිටිය ගෝලයා, ගුරුන්වහන්සේගේ කතාව ඇහුවෙ නැහැ. ඒ නිසා, ගුරුන්වහන්සේට දුක හිතුණා. ඒ මුඩුබිමේ වතුර නැති නිසා අපහසුවට පත්වෙලා ඉන්න ගෝලයා තමාවත් අපහසුවට පත්කරන බව ඔහුට තේරුම් ගියා. ඔහු ආයෙත් වතාවක් ගෝලයට ඒක මෙහෙම පැහැදිලි කළා.

‘මේ කොහේවත් වතුර නැහැ සහෝදරයා. අපිට කරදරයක් ආව ම අපි ටිකක් ඉවසගෙන ඉන්න ඕන.’

“ඒත්, තවත් අඩියක්වත් ඉස්සරහට යන්න බැහැ කියලා ගෝලයා එතැන බිම වාඩිවුණා. ගෝලයාගේ මුරණ්ඩුකමට පූජකයට හිනා. ඔහු භාවනා කරන්න ඇස්දෙක පියා ගත්තා. ටික වෙලාවකින් ඇස් ඇරියම ඔහු දැක්කේ තමාගේ ගෝලයා දියෙන් ගොඩගත්ත මාළුවෙක් වගේ ගැහෙමින් ඉන්න හැටි. පූජකයා සිනාසෙමින් මෙහෙම කීවා.”

‘සහෝදරයා, මේ කඳු මුදුනේ තාපසයෙක් ඉන්න පැල්පතක් තියෙනවා. එයා ළඟට ගිහින් වතුර ටිකක් ඉල්ල ගන්න. මේ පැත්තට ම වතුර තියෙන්නේ එයාගේ ළිඳේ විතරයි.’

“ඊට පස්සෙ මොකද වුණේ අම්මා?” ගෝලයාට වතුර ලැබුණේ ද, නැද්ද කියා දැන ගැනීමට මම ඉතා උනන්දුවෙන් අම්මාගෙන් ඇසුවෙමි.

“ගෝලයා මොනතරම් පිපාසෙන් හිටිය ද කියනව නං.. වතුර ගැන ඇහුව විතරයි.. මිනිහා කන්ද උඩට දුවන්න පටන් ගත්තා. වතුර පිපාසෙනුත් ඉඳිද්දී මේ ගිනි මද්දහනේ කඳු නගින එක ! අන්තිමේ ගෝලයා බොහොම අමාරුවෙන් පැල්පත හොයා ගත්තා. ඔහු එතනට යද්දී මුළු ඇඟම දහඩියෙන් තෙත්වෙලා ඔහු හති දමමිනුයි හිටියේ. ඔහු මුලින් ම තාපසයාට සුබපතලා වතුර ටිකක් ඉල්ලුවා. තාපසයා ඔහුට ළිඳ පෙන්නුවා.

ගෝලයා ළිඳ ළඟට යද්දී තාපසයගෙ හිතට අදහසක් ආවා. ඒ නිසා ඔහු මෙහෙම ඇහුවා.

‘ඔබ කොහෙ ඉඳන් ද ආවේ?’

ගෝලයා මෙහෙම පිළිතුරු දුන්නා.

‘මම මහා ගුරුන්වහන්සේගේ ගෝලයෙක්. අපි මේ පාළුකරයට ඇවිදගෙන එද්දී.. මට ලොකු තිබහක් ඇතිවුණා. ඒත්.. පහළ වතුර තිබුණෙ නැහැ.’

“පූජකයා ගැන අහපු ගමන් තාපසයට හොඳට ම කේන්ති ගිහින් ගෝලයා පැල්පතෙන් එලවා ගත්තා. ගෝලයා වෙහෙස විඳගෙන නැවතත් පූජකයා ළඟට ගිහින් සිද්ධ වුණ දේ කිව්වා. ඒක අහගෙන හිටිය ගුරුන්නාන්සේ හිනාවෙලා මෙහෙම උපදෙසක් දුන්නා.”

‘ආපහු යන්න. මේ වතාවේ ඔබ ඔබේ හදවතේ නිහතමානීකම පෙන්වන්න. ඔබ වෙනත් තාපසයකුගේ ගෝලයෙක් කියල ඔහුට කියන්න.’

“ගෝලයා සාප කරමින්, මුමුණමින් ආපහු තාපසයා ළඟට ගිහින් එහෙම කීවා. ඒත්.. මේ ගමනත් තාපසයා ගෝලයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.”

‘මිථ්‍යාදෘෂ්ටිකයකුගේ ගෝලයෙක්ට මම වතුර පොදක් දෙන්නෙ නෑ..‘ කියල තමයි ඔහු ගෝලයා හරවල යැව්වේ. ඒ වෙද්දී ගෝලයා හිටියේ, බොහොම අමාරුවෙන්. ඔහුගේ තොල් වේළිලා ඉරි තැලිලා. ඔහුට දැනුණේ ඔහු මැරෙන්න යනව කියල යි. ගුරුන්නාන්සේ ගෝලයගෙ කතාව මුල ඉඳල ම අහගෙන හිටියා.”

“සර්වබලධාරී දෙවියනි, මේ නිර්මල තැනැත්තාට ප්‍රශංසා වේවා !’ එහෙම කීව ගුරුන්නාන්සේ තවත් වාරයක් තාපසයා ළඟට යන්න කියල ගෝලයාගෙන් ඉල්ලුවා. ගෝලයා ගුරුන්නාන්සේගේ ඉල්ලීම ඒ විදිහටම ඉටුකරමින් තුන්වන වරටත් ගල් කන්දට නැග්ගා. ඔහු තාපසයා පාමුල වැටිලා ඔහුගේ පිපාසය සංසිඳුවා ගන්න වතුර බිංදු කිහිපයක්වත් දෙන්න කියා ඉල්ලුවා. ඒත්, ශුද්ධවන්තයෙක් වගේ ඉන්න තාපසයා වෛරයේ ගින්නෙන් පිළිස්සෙමින් ගෝලයාගේ ඒ ඉල්ලීමත් එකහෙළා ප්‍රතික්ෂේප කළා.”

“උඹේ මහ ලොකු ගුරා බලසම්පන්න කෙනෙක් නම්.. ඌට තමන්ගේ ගෝලයට වතුර දෝතක්වත් හොයල දෙන්න බැරි ද?’ ඔහු ගුරුන්නාන්සේ සමච්චලයට ලක් කරමින් කීවා.

ගෝලයා ආපසු ඇවිත් ගුරුන්නාන්සේ පාමුල ඇද වැටුණා. ගුරුන්නාන්සේ ඔහුගේ පිටට තට්ටු කරලා දුක්වෙන්න එපා කියල කීවා. ගෝලයා මඳක් සන්සුන් වුණා ම, ගුරුන්වහන්සේ ඉදිරියේ තිබුණ විශාල ගලක් අහුලා ගන්න කියා ගෝලයාට කීවා. ගෝලයා ඔහු කී විදිහට ම ඒක කළා. ඔහු ඒ ගල එතැනින් ගත්ත ගමන් පොළොවෙන් වතුර මතුවෙන්න පටන් ගත්තා. මිනිත්තු කිහිපයක් ඇතුළත ඔවුන් වටා වතුර පිරුණා. ඒ වෙලාවේ වතුර ටිකක් ගන්න හිතාගෙන තාපසයා ඔහුගේ ළිඳ ළඟට ගියා. ළිඳ සම්පූර්ණයෙන් ම හිඳිල වේලිලා ගිහින්. කන්ද උඩ ඉඳලා පහළ බැලුව ඔහුට දකින්න ලැබුණේ ගලාගෙන යන දිය පාරක්. ගුරුන්නාන්සේයි, ඔහුගේ ගෝලයයි ගහක් යට වාඩිවෙලා ඉන්නවත් ඔහු දැක්කා. තදින් කෝපයට පත් තාපසයා විශාල ගලකට බර දීලා ඒක කන්දෙන් පහළට පෙරළුවා. විශාල ගල් පර්වතයක් වේගයෙන් පහළට පෙරළිලා එනව දැකල ගෝලයා බයෙන් කෑගැහුවා. ඒත්, ගුරුන්නාන්සේ කලබල වුණේ නෑ. ඔහු සන්සුන්ව මෙලෙස යාච්ඤා කළා.

‘සර්වබලධාරි දෙවියනි, නිර්මල තැනැත්තාට ප්‍රශංසා කරන සේක්වා !’

ඒ විශාල ගල් පර්වතය ගුරුන්නාන්සේ මතට වැටෙන්න යද්දී, ඔහු සන්සුන්ව තමාගේ අතක් දිගුකරලා ඒ අත්ලෙන් ඒක නතර කළා. අදත් ගුරුන්නාන්සේගේ ඒ අත්ලේ සලකුණ ඒ ගල් පර්වතයේ තියෙනවා.”

“ඒ විතරක් නෙමෙයි..දැන් එතන ‘ගුරු අත්ල’ කියල දේව මන්දිරයකුත් හදල තියෙනව. ඒ දේව මන්දිරේ නිසා මුළු නගරෙ ම දියුණු වුණා. එතන දැන් ‘හෝලි පාම්’ කියල දුම්රිය ස්ථානයකුත් තියෙනව.”

මම අම්මාගේ කතාව ඉතා හොඳින් රස වින්දෙමි. එහෙත්, ඒ ගල් පර්වතය ගුරුන් වෙත එද්දී ඔහු එය අතින් අල්ලා නතර කිරීම. එය මට අමුතු ම හැඟීමක් ඇති කළේ ය. එය කළ නොහැක්කකි; කන්දක් තරම් විශාල ගල් පර්වතයක් පිටුපස සිටින මිනිහෙක් එය අල්ලා නතර කරන්නේ කෙසේ ද? ඒ පර්වතයට ඔහුගේ අත්ලෙහි සලකුණ ලැබෙන්නේ කෙසේද? මම ඒ එක ද වචනයක් හෝ විශ්වාස නොකළෙමි.

“පස්සෙ කාලෙක කවුරු හරි ඒක කැටයම් කරන්න ඇති” කියමින් මම මගේ මව සමඟ බොහෝ වේලාවක් ඒ ගැන වාද කළෙමි. ගලක් යට උල්පතක් ඇති බව විශ්වාස කරන්නට මට හැකි ය; භූගත ජල මූලාශ්‍ර සොයා ගන්නට බොහෝ විද්‍යාත්මක ක්‍රම තිබේ. නමුත්, කන්දක් නාය යන එක නවත්වන මිනිහෙක් ? මට එය විශ්වාස කරන්නට නොහැකි ය.

අම්මා මා දෙස බලා නිශ්ශබ්ද වූවා ය.

“කාට හරි හිම කුණාටුවක් නවත්වන්න පුළුවන් ද?” ඇය එම පුරාවෘත්තය සිහිපත් කරන සෑම විට ම මම සිනහවෙන් යුතුව කියමි. අපේ ගමේ පන්සලට සම්බන්ධ ගල් පර්වතයක් නතර කර ගැනීමේ මේ කතාව මම බොහෝ වාරයක් අසා ඇත්තෙමි. එය මට දැන් හිසරදයකි. පාසලේ දී ගුරුවරුන් ඒ කතාව ම අපට පවසද්දී මම ඊට විරෝධය පාමින් මගේ ගුරුවරයා සමඟ වාද කරන්නට ද පටන් ගතිමි.

“ශ්‍රද්ධා සම්පන්න මිනිසුන්ට කරන්න බැරි දෙයක් නැහැ” මගේ ගුරුවරයා එසේ පිළිතුරු දී මා නිහඬ කළේ ය. මා නිශ්ශබ්දව සිටිය ද, ඔහු කී එක වචනයක්වත් මම විශ්වාස නොකළෙමි. මට අවශ්‍ය වූයේ, මගේ කටහඬේ ඉහළ ම ස්වරයෙන් මෙසේ කෑගහන්නට ය:

“කන්දකින් පහළට පෙරළිලා එන විශාල ගල් පර්වතයක් අත්ලකින් නතර කරන්නෙ කොහොම දෝ?”

‘ගුරු අත්ල‘ යැයි නම් ලද දේව මන්දිරයේ කිසියම් ‘සිදුවීමක්’ සිදුව ඇති බව වැඩිකල් යන්නට පෙර මට දැන ගන්නට ලැබිණි. ඒ දිනවල එවැනි ‘සිදුවීම්’ බොහෝ ගණනක් සිදුවී ය. එසේ ම, එවන් ‘සිද්ධියක්’ සිදුවුණ හැම විට ම අප නිවසේ ගිනි දැල්වුණේ නැත. එවන් දිනවල අප නිදාගත්තේ ද ශෝක දිනවල දී මෙන් බිම ය.

‘සිද්ධිය’ කුමක් දැයි මම නොදැන සිටියෙමි. අපේ ගම තිබුණේ ‘ගුරු අත්ල’ දේව මන්දිරයට නුදුරිනි. ආරංචිය ලද විගස අම්මා ගෙදරින් පිටවූවා ය. මම ද ඇය සමඟ ගියෙමි. අප සමඟ මගේ කුඩා නැගණිය ද ගියා ය. ඒ යන හැම මොහොතක ම අම්මාගේ දෑස් කඳුළින් තෙත් ව තිබිණි. ‘සිද්ධිය’ යන වචනයෙන් අදහස් කරන්නේ කුමක් දැයි ඒ හැමවිටෙක ම මම කල්පනා කළෙමි.

අප දේව මන්දිරයට යද්දී අසන්නට ලැබුණේ අමුතු ම විදිහේ කතාවකි. ඈත නගරයක දී සුදු ජාතිකයන් පිරිසක් නිරායුධ ඉන්දියානුවන් පිරිසකට වෙඩිතබා ඔවුන්ගෙන් බොහෝ දෙනකු මරා දමා තිබිණි. මියගිය අය අතර තරුණයන්, මහලු මිනිසුන්, කාන්තාවන් සහ කුඩා දරුවන් ද සිට ඇත. ඉතිරි වූ අය දුම්රියකට දමා වෙනත් නගරයක බන්ධනාගාරයකට යවන්නට ඔවුන් කටයුතු කර තිබිණි. සිරකරුවන් කුසගින්නෙන් හා පිපාසයෙන් සිටි නමුත්, නියෝගය වී තිබුණේ කිසිදු තැනක නතර නොකර දුම්රිය ධාවනය කළ යුතු ය යන්න ය. මෙම ආරංචිය දේවමන්දිරයට පැමිණ සිටි අයට ද අසන්නට ලැබිණි. එය ඇසූ සියලුදෙනා කෝපයෙන් ඇවිළ ගොස් ඇත. එක ශ්‍රාවකයකුගේ පිපාසය සංසිඳුවන්නට ප්‍රාතිහාර්යයක් කළ ගුරුන්නාන්සේගේ පන්සල අසලින් පිපාසයෙන් පෙළෙන මිනිසුන්ගේ දුම්රියක් නොනවත්වා ගමන් කළේ කෙසේ ද? එම දුම්රිය රැගෙන ගියේ පිපාසයෙන් පෙළෙන මිනිසුන් පමණක් නොවේ. පිපාසයෙන් හා කුසගින්නෙන් පීඩාවට පත්, තුවාල ලද පිරිමි සහ ගැහැනු ද එම දුම්රියේ සිටියහ. ‘හෝලි පාම්’ දුම්රිය ස්ථානයේ රැස්ව සිටි මිනිසුන් දුම්රිය ස්ථානාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර දුම්රිය ඔවුන්ගේ දුම්රිය ස්ථානයේ නතර කරන ලෙස ද ඉල්ලා තිබේ.

ඒ බව දන්වා දුර බැහැර සිට දුරකථන ඇමතුම් සහ විදුලි පණිවුඩ බොහෝ ප්‍රමාණයක් ද ලැබී තිබිණි. එහෙත්, කෝච්චිය නවත්වන්න එපා යැයි සුද්දා අණ කර තිබූ හෙයින්, දුම්රිය ස්ථානාධිපතිවරයා එම අණ වෙනස් කිරීම ප්‍රතික්ෂේප කර ඇත. ‘හෝලි පාම්’ දුම්රිය ස්ථානයේ රැඳී සිටි ජනතාව එය වෙනත් ආකාරයකින් සිදුකරන්නට තීරණය කර ඇත්තේ ඉන් අනතුරුව ය. ඔවුහු පාන් ගෙඩි, පරිප්පු වෑංජන, පැණි රස බත් පුඩින් සහ වතුර බඳුන් වේදිකාවේ ඉහළට ගොඩ ගැසූ හ.

ගිම්හානයේ හමා එන හදිසි කුණාටුවක් මෙන් පැමිණෙන දුම්රිය සුළි කුණාටුවක වේගයෙන් අතුරුදන් වන බව ඔවුහු දැන සිටියෝ ය. කෙනෙක් එවැනි දුම්රියක් නවත්වන්නේ කෙසේ ද? ඉන්පසු සිදුවූ ‘සිද්ධිය’ අප හා පැවසුවේ අම්මාගේ යෙහෙළියකි.

රේල් පාරට මුලින් ම ගියේ…මගේ දරුවන්ගේ තාත්තා. ඔහුත්, ඔහුගේ යහළුවොත් රේල්පාර උඩ වැතිරිලා හිටියා. අපි හිටියේ ඔවුන්ගේ භාර්යාවන් එක්ක. එන්ජිම බොහොම දුර ඉඳලා වියරුවෙන් වගේ හූ කියන්න පටන් ගත්තා. ළංවෙද්දී ඒකෙ වේගෙ අඩුවුණා. ඒත්, හැමෝ ම කීව වගේ ඒක වානේවලින් හදල තිබුණ නිසා ඒක නතරවෙන්න කාලයක් ගතවුණා. දුම්රිය එන්ජිමේ රෝදත්, පෙට්ටිවල රෝදත් රේල්පාරෙ දිගාවෙලා හිටිය හැම කෙනකුගෙ ම ඇඟවල් උඩින් ගියා. ඒත්.. කිසි කෙනෙක් තමන් සිටි තැන්වලින් ඉවත් වුණේ නැහැ. ඔවුන් ඒ තැන්වල ම නොසෙල්වී හිටියා. රේල්පාර දෙපැත්තෙ හිටිය අපි මහ හඬින් මෙහෙම ගායනා කළා”

“සර්වබලධාරි දෙවියනි ! නිර්මල තැනැත්තන්ට ප්‍රශංසා වේවා ! සර්වබලධාරි දෙවියනි ! නිර්මල තැනැත්තන්ට ප්‍රශංසා වේවා !”

“අපි එක දිගට ගායනා කළා. නතර වුණ දුම්රිය ඉන්පස්සෙ පස්සට යන්න පටන්ගත්තා. ඒකෙන් වුණේ..දුම්රියට යටවෙලා හිටිය මිනිස්සුන්ගෙ ඇඟවල් උඩින් තව වතාවක් ගිය දුම්රියේ රෝද ඔවුන්ගේ ශරීර ආයෙ සැරයක් කපල පොඩිකරල දැම්ම එකයි. පාලම ළඟ තියෙන ගඩොල් බෝක්කුව ළඟට යනකම් ම රේල් පාර දෙපැත්තෙන් ම ලේ ගඟක් ගලාගෙන ගියා.

මේ කතාව ඇසූ මම වික්ෂිප්ත වීමි. එදින මුළු දවස ම මම වචනයක්වත් කතා නොකළෙමි. සවස අපි ආපහු අපේ ගමට එන අතරවාරයේ අම්මා නංගිට ‘ගුරු අත්ල’ පන්සලේ කතාව කියන්න පටන් ගත්තා ය. ගුරුන්නාන්සේ ගෝලයා සමඟ ඒ ප්‍රදේශයට පැමිණි ආකාරය අම්මා ඇයට පැවසුවා ය. ගෝලයා වතුර පිපාසයෙන් පෙළුණු හැටි; ගුරුන්නාන්සේ ඔහු කඳු මුදුනේ සිටි තාපසයා වෙත යැවූ ආකාරය; තාපසයා තුන් වතාවක් ම ඔහු ආපසු හරවා යැවූ ආකාරය; ගුරුන්නාන්සේ තම ගෝලයාට ගලක් අහුලා ගන්නා ලෙස පැවසූ ආකාරය; ඒ ගල යටින් දිය උල්පතක් පුපුරා විත් තාපසයාගේ ළිඳ සිඳීගිය ආකාරය; තාපසයා ගල් පර්වතයක් පහළට පෙරලූ ආකාරය; ‘සර්ව බලධාරී දෙවියනි, නිර්මල තැනැත්තාට ප්‍රශංසා වේවා’ යනුවෙන් ගුරුන්නාන්සේ පැවසූ ආකාරය සහ එම ගල් පර්වතය ගුරුන්නාන්සේ තමාගේ අතින් නතර කළ ආකාරය අම්මා ඇයට පැවසුවා ය.

“ඒත්… කෙනෙක් කොහොම ද එච්චර විශාල ගලක් අතින් අල්ලලා නතර කරගන්නේ ?” මගේ නැගණිය ඊට බාධා කළා ය.

“හා.. ඇයි? මොකද බැරි” මම කඩා පැන්නෙමි.

“කුණාටුවක් වගේ එන දුම්රියක් නතර කරගන්න මිනිස්සුන්ට පුළුවන් නම්, කන්දකින් පහළට එන ගලක් නතර කරගන්න බැරි මොකද?”

මගේ එවදන් ඇසූ අම්මාගේ දෙකොපුල් දිගේ කඳුළු රූටා වැටිණි.


පන්ජාබ් ලේඛක කර්තාර් සිං ඩූගල්
(පන්ජාබ් බසින් The Miracle නමින් ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද්දේ ඉන්දීය ලේඛක කුෂ්වන්ත් සිංග් විසිනි.)


Nissanka Rajapaksa

unread,
May 1, 2025, 9:19:53 PMMay 1
to INDRAKA group
13

දෝංකාරය

ඇලෆ් වැන්නන්බර්ගේ දකුණු අප්‍රිකානු කෙටිකතා සංග්‍රහයෙන්

බොබී ජී. බොතේජුගේ අනුවාදය ඇසුරෙනි.

මිනිසුන් තිදෙනා දූවිලි මත්තෙහි සිටගෙන මාර්ග නාම පුවරුව දෙස බැලූහ. “තව දවස් දෙකකින් අපි අපේ නගරයේ” තසෝලෝ පැවසුවේය. තසෝලෝ, මැකී සහ තෙම්බා දින කීපයක් තිස්සේ දහසක් කඳුවල සිට වැටී ඇති නිම්නය ඔස්සේ දිවෙන මාර්ගයේ පැමිණෙමින් සිටියහ. දිවා කාලයේ කහ පැහැති ගිනියම් වැල්ලේ පා ගමනින් පැමිණෙන ඔවුහු රාත්‍රි කාලයේදී පාර අයිනේ ස්ථානයක ගිනිගොඩක් ගසාගෙන පිපාසිත පොළොවේ දිගා වී තම වෙහෙස නිවා ගත්හ. ඔවුන් කතා කළේ අඩුවෙනි. තමන් අතහැර දමා පැමිණි ප්‍රදේශයේ බියජනක බව තවමත් ඔවුන්ගේ සිත් තුළින් පහ වී නැත.

මහා ඛේදවාචකයෙන් ඔවුන් සමඟ සිටි ආකර කම්කරුවෝ හාරසියයක් පමණ මිය ගියහ. කඳු කඩා වැටීම නිසා ඔවුන්ගෙන් වෙන්වූ පිරිස වෙත ළඟාවීමට දැරූ උත්සාහය සාර්ථක නොවීය. ඔවුන් අතර වූයේ භයානක නිහැඬියාවකි. වැලපෙමින් සහ වික්ෂිප්තව සිටි බිරින්දන් සහ ඔවුන්ගේ නෑ හිතවතුන් ආපසු ගිය පසු ඔවුන් ඉවත දැමූ ඉරුණු පත්තර කැබලි ආදිය සුළඟට ගසාගෙන විත් කටු කම්බි වැටේ ඇමිණී තිබිණි. අළු පැහැති අහසේ අඳුරු වලාකුළු පැතිරී ගියේ වෙන්ව යෑමට සැරසෙන්නාක් මෙනි.

“මේ හිරු රැස්වල ගිනියම අපේ ඇඟට කඩා වැටිලා. හරියටම සුදු මිනිසුන්ගෙ නීති වගේ”යැයි පැවසූ තසෝලෝ තමාගේ අත්වල සහ පාදවල තැවරී ඇති දූවිලි ගසා දැමුවේය.

“හරියට අපේ මිනිස්සු ආකරේ ඇතුළේ දුක් විඳිනව වගෙ” මැකී පැවසුවේය.

“අපි කතා නොකළ යුතු දේවලුත් තියෙනවා”  තසෝලෝ පැවසුවේය.

“අපි සුදු මිනිසුන්ගෙ නීති වෙනස් කරමු. ඒත් ආකරේ දුක් විඳීම නම් කවදාවත් වෙනස් කරන්න බැහැ.”

මොහොතක් ඔවුහු නිහඬව සිටියහ. මන්ද යත් ආකරයේදී විඳීමට සිදුවූ දුක් ගැහැට සිහිපත්වීමෙන් ශෝකයක් හටගත් බැවිනි.

“අපි මෙතන රාත්‍රියෙ නතර වෙමු.”

“නැහැ අපි රාත්‍රියෙ ඇවිදගෙන යමු. හෙට හවස් වෙනකොට අපට ගෙදර යන්න පුළුවන් වේවි” මැකී පැවසුවේය.

“දැන් මට ගෙදරට ආව වගෙයි. මගෙ කකුල් හයියයි. වෙහෙසක් දැනෙන්නෙ නැහැ.”

තසෝලෝ වත්ත වටා තිබූ ආරක්ෂක වැටේ කැඩුණු තැනකින් මහ පාරට විවිසියේය. ඔහු අනුකරණය කරමින් සෙස්සෝ වියළී ගිය ඉවුර මත වැටී ඇති මහ පාර දිගේ ගමන් කළහ.

“මේක තමයි පාර” තසෝලෝ නායකත්වය දෙමින් පැවසුවේය. ඔවුන් නිවෙස්වල ගත කළ කාලය තුළ ඔවුන්ට ගොවිතැන් කටයුතු සඳහා නායකත්වය ලබා දුන්නේද තසෝලෝයි. පස නිසරු වී අස්වැන්න අසාර්ථක වූ විට ඔවුහු කම්කරුවන් බඳවා ගන්නා කාර්යාලය කරා පැමිණියහ. වරක් ඔවුහු ඔහු පසුපස හිර ගෙදරටද ගියහ. එහෙත් ඒ බොහෝ කලකට පෙරයි. ඔහුගේ ආත්ම ශක්තිය ප්‍රබලය. හැම විටම එය එලෙසම පැවතිණි.

“මේක හොඳ තැනක්” පල්ලමක් සහිත ස්ථානයක සිය පොරෝනය දිග හරිමින් තසෝලෝ පැවැසුවේය.

“ගඟේ වක්කලම තියෙන තැනට අපි ගියොත් වඩා හොඳයි. එතකොට පාරෙ යන කෙනකුට අපිව පේන්නෙ නැහැ” මැකී පැවැසුවේය.

“මෙතැන නම් අනතුරුදායකයි.”

දැඩි නිහඬතාවකි. අනතුරුව ඔහුගේ හඬ දෝංකාර  දෙන්නට විය. අනතුරුදායකයි….! අනතුරුදායකයි….! අනතුරු….!

“අපට සමච්චල් කරන්නෙ කවුද?” මැකී  විමසුවේය.

“ඒක කඳුකරේ උපක්‍රමයක්” තසෝලෝ පිළිතුරු දුන්නේය. තම පොරෝනය තසෝලෝගේ පොරෝනය අසලින්ම එළාගත් තෙම්බා “මෙතන හොඳ තැනක්” යැයි කියමින් තසෝලෝ හා එකඟ විය.

ගිනියම් අඩුවෙමින් තිබූ වැල්ලේ හිඳගත් ඔවුහු වියළී ගිය ගංගාව දෙස බලා සිටියහ.

මුලින්ම කතා කළේ තසෝලෝයි. “අපි මෙතනට ආවෙ ආරක්ෂක වැටෙන් පැනල බව උඹලට මතකද?”

“ඔව්, උඹ තමයි වැට කැඩිච්ච තැන අපට පෙන්නුවෙ”

“අපි වැට කැඩිච්ච තැනින් ආවායි කියන එකේ තේරුම මොකක්ද කියල දන්නවද?”

“අපි සුදු ජාතික ගොවියකුගෙ ඉඩමකටයි ඇවිල්ල තියෙන්නෙ.”

“දැන් මම කියන්නම් මගෙ බඩගින්න ගැන. මගෙ බඩ ගර්ජනා කරනවා.”

“එතකොට මම කියන්නම් මෙහෙම මේ වගෙ ගොවිපළක බැටළුවො ඉන්නවා.”

“ඔව්, උඹ නම් අපූරු මිනිහෙක්. මම ඒක විස්තර කරන්නෙ කොහොමද?” තසෝලෝ පැවසුවේ තෙම්බාගේ පිටට තට්ටුවක් දමමිනි. “ඔව් උඹ නම් අපූරු මිනිහෙක්”

“මම මේ වගෙ දේවල් ඉගෙන ගත්තෙ උඹෙන්” තෙම්බා පිළිතුරු දුන්නේය.

ඔවුන්ගේ කතා බහ මැකීගේ සිතිවිලි අතරට ඇසුණේ දුර්වල ලෙසිනි. ඔහුගේ සිතිවිලි වූයේ ඔහු ඉදිරියේ ඇති ආපසු නිවෙසට පැමිණීමේ සතුටයි. ඔහු පැමිණි ස්ථානයේ සිදුවූ ඛේදවාචකය, ආකර කම්කරුවන් මතට කඩා වැටුණ පස් කන්දෙන් ගැලවීමට හැකිවීමේ වාසනාව සහ සුදු ජාතික ආකර හිමියන්ගේ ක්‍රියාකාරකම් නිසා මේ ඛේදවාචකය සිදුවූ බවට ඇති කතා බහ, ඔහුගේ මනසේ රැව් දුන්නේය. ඔවුන් ආකර කම්කරුවන්ගේ ආරක්ෂාව ගැන සැලකිල්ලක් දක්වා නැත. ඔහුගේ සිතිවිලි ඔහුගේ මිත්‍රයකු වූ මොසස් කෙරෙහි යොමු විය. ඔව්, මේ ඛේදවාචකයෙන් ජීවිතය අහිමි වූ මොසස්! ඔහුට ආකරය අතහැර යෑමට තිබුණේ තවත් දින දෙකකි. ඔහුට පවුලේ අය සමඟ එක්වීමට තිබුණේ මීට දින දෙකකට පෙරයි. ඔහු කොතරම් සතුටින් සිටියේද? තම නිවෙස ගැන කතා කරන විට ඔහුගේ සතුට පළවූයේ ඇස්වලිනි. අනතුරුව විශාල තුවක්කුවකින් තබන මහා වෙඩි ශබ්දයක්! ඔහුගේ සිහින මතට ආකරය කඩා වැටිණ.

ඉන්පසු ඔහුගේ මතකයට නැඟුණේ බලාපොරොත්තුවෙන් පිරි කටයුතු කළ දින කීපයයි. ඔවුහු මහත් බලාපොරොත්තුවෙන් යුතුව දින ගණනාවක්ම කඩා වැටුණ පස් කඳු ඉවත් කළහ.

එහෙත් එම කාලය තුළත් ඔහුගේ සිතිවිලි නිවෙස ගැන විය.

මොසැම්බික් බලා ආපසු යන දුම්රිය අපේක්ෂාවෙන් බලා සිටින විට තමන්ගේ බිරින්දෑවරුන් තම ආරක්ෂාව ගැන සිතා කනස්සල්ලෙන් පසු වන බව තිදෙනාම දැන සිටියහ. අනතුරුව ඔවුනට දැන ගැනීමට ලැබුණේ තම ගම් රටවල් බලා යෑමට ප්‍රවාහන පහසුකම් ලැබීමට තවත් දින ගණනාවක්ම ගත වන බවයි.

තසෝලෝ තම ඇඳ ඇතිරිල්ල දිග හරිමින් කතා කළේය. අනිත් දෙදෙන ඔහු අනුකරණය කළහ.

“මේ මැකී හීන දකිනවා” තසෝලෝ පැවසුවේය.

“ඔව්, මෝඩයා අපි බැටළුවකු ගැන කතා කෙරුවට අපි කතා කරන්නෙ කෑම ගැන” තෙම්බා පැවසුවේය.

“උඹල කියන්නෙ මගෙ හිත මහ ලොකු දේවලින් පිරිල තියෙද්දි කෑම ගැන කරදර වෙන්න කියලද?” මැකී දිගටම කියාගෙන ගියේය.

“තවත් දවස් දෙකකින් මම ගෙදර ගිහින් බිරියව හමුවෙනව. මම දැකපු දේවල් ගැන මගෙ පුතාට කතාන්දර කියල දෙනව. ගිනි මැලේ වටේට වාඩිවෙලා අපි විඳපු දුක් කන්දරාව ගැන කියනවා. මගෙ බඩේ කෑගැහිල්ලට වඩා මගෙ පවුලෙ අයත් එක්ක ඉන්න යන එකේ සතුට මට තියෙනවා. ඉතින් ඒ මං දකින හීනයක්ද?”

“උඹ ජීවිතේ ගැන කිසි දෙයක් ඉගෙන ගෙන නැහැ.” තසෝලෝ පැවසුවේය.

“උඹ දන්නෙ ආකර කපන්නයි. හීන දකින්නයි විතරයි. මොළයක් නැහැ.” පාරේ තිත්ත දූවිලිවලින් ඔහුගේ කටහඬ වැසී තිබිණි.

“අපිට හීනවල ජීවත්වෙන්න බැහැ” තෙම්බා පැවැසුවේය.

“උඹ ගෙදර ගැන කියනවා” තසෝලෝ පැවැසුවේය.

ඒත් ගෙදර කියන්නෙ මොකක්ද? අපේ ඉඩම්වල පස් නිසරුයි. ඒ නිසා  අපේ පවුල්වල අය බඩගින්නෙ. ආකරවල වැඩ කළේ නැත්නම් අපි අපේ ළමයින්ට සල්ලි එවන්නෙ කොහොමද?”

“උඹ ගෙදර ගැන කියන්නෙ හරියට දිව්‍ය ලෝකෙ ගැන වගේනෙ. උඹ හීන දකිනවා හරියට ආකරේ වැඩ කරපු මෝසස් වගෙ.”

“උඹ හරියට මෝසස් වගේමයි” තෙම්බා කෑගසුවේය.

කඳුකරයෙන් දෝංකාරයක හඬ නැඟිණි. “උඹ මෝසස් වගෙයි. මෝසස් වගෙයි…. මෝසස්….”

“මම මෙතනට කැමැති නැහැ. අපි මෙතනින් යන්න ඕන. මේ කඳුකරය අපට සමච්චල් කරනවා. අපි බැටළුව හොරකම් කිරීම ගැන පාරෙදි කරපු  කතාවත් කඳුකරයෙ දෝංකාර දෙන්න ඇති.”

“ආහ්, අපේ සිහින දකින්නා දැන් කඳුකරයෙ දෝංකාරයට බයවෙලා වගෙ“ තෙම්බා සරදම් කළේය.

“එන්න” තසෝලෝ පැවසුවේය.

“අපි එයාට හීන දකින්න ඉඩ හරිමු! එහෙම නැත්නම් එයාට බියගුල්ලකු වගෙ ඉන්න ඉඩ හරිමු! අපි පිරිමි අපිට කරන්න වැඩ තියෙනවා.”

“ඒත් දැන් අපි මේව කරන්නෙ මොකටද? අපි දැන් ගෙදරට ළඟයිනෙ” මැකී පැවසුවේය.

“අපිව අල්ල ගත්තොත් අපිට තවත් දින ගණනාවක්ම ඉන්න වේවි. මේ සුදු ජාතික ගොවියො තාම අපි ගැන දන්නෙ නැහැ. උන් අපට බයයි. ඒ බය නිසා උන් මොන වගෙ භයානක දේවල් කරයිද දන්නෙ නැහැ.”

“මගෙ පිහිය සූදානම්. අපි බැටළුවකුව හොයමු” තෙම්බා යෝජනා කළේය.

“ඔව්, අපි යමු, මැකී අපි ගියාට පස්සෙ උඹ ගිනිගොඩ පත්තු කරපං!”

“උන් අපිව අල්ලගත්තොත් තවත් දවස් ගණනක් යාවි” ඔහු ගං ඉවුරේ ගැට්ට පසු කරමින් කෑගැසුවේය.

ඔහු පිළිතුරු නොදුන්නේය. එහෙත් කඳුකරයෙන් පිළිතුරු ලැබිණි. දින ගණනාවක්…. දින ගණනාවක්…. දින ගණනාවක්….

වියළී ගිය ගං ඉවුර වසා අඳුර සහ නිහඬතාව පැතිර තිබිණි. සීත සුළං හමා ආවේය. ඔහුට සීතල දැනිණ. වියළී ගිය ගඟේ ඉවුරේ අනිත් පැත්තෙන් පායන සඳේ ආලෝකය වැටිණ. ඔහු කලකට පෙර ඇතිවූ ගංවතුරකින් පාවී ආ ලී දඬු එක් රැස් කර ගං ඉවුරේ වියළි වැල්ලේ  ගිනි ගොඩක් ගැසුවේය.

ගිනි දැල්වල උණුසුම සමඟ ඔහුගේ පවුලේ උණුසුමත් ඔහුට දැනිණ. නඟින ගිනි දලු ඔහුට තම පැල්පතේ බිත්ති සහ තම බිරියගේ ආදරය තම පුතුන්ගේ කෙළවරක් නැති ප්‍රශ්න සිහිපත් කළේය. ඔහු තමා පැමිණි දිගු ගමන් මාර්ගය ගැන සිතමින් සැලසුම් හැදුවේය.

“තවමත් හීන දකිනවා” අඳුර අතරින් තසෝලෝගේ කටහඬ ඇසිණි.

ගිනි මැළයේ ආලෝකය වෙත රූප දෙකක් එනු දුටු මැකී තමා දකිමින් සිටි සිහින ලෝකයෙන් මිදුණි. පළමුවැන්නා පිහියක් රැගෙන එන තසෝලෝ, අනතුරුව බැටළුවකුගේ මළකුණක් කර තබාගෙන එන තෙම්බා, “ආ….” තෙම්බා නිහඬ බව බින්දේය.

“මැකී ගිනිගොඩට හොඳට අවුළුවල නෑ නේද? ඒක නිවේවිද?”

“මේක ගන්න” පිහිය මැකී අත තබමින් තසෝලෝ පැවැසුවේය.

“අපි පිරිමි! අපේ වැඩේ කළා! දැන් ගැහැනු හදවතක් තියෙන කෙනාටයි වැඩ තියෙන්නෙ. බැටළුවව උයන්න සූදානම් කරන්න.”

අපේ අත්වල මේ බැටළුවගෙ ලේ ගෑවිලා. කාට හරි අහුවුණොත් අපට ගෙදර යන්න වෙන්නෙ නැහැ” මැකී පැවැසුවේය.

“අපි ආහාර ගත්තෙ නැත්නම් අපේ ගමනට ශක්තිය උපදව ගන්නෙ කොහොමද?” තෙම්බා පිළිතුරු දුන්නේය.

“උඹ අනතුරක හීන දකිනවා. මෙතන කවුරුවත් නැහැ කවුරුවත් නැහැ” තසෝලෝ සරදම් කළේය.

කවුරුවත් නැහැ…. කවුරුවත් නැහැ…. කවුරුවත් නැහැ….. කඳුකරය දෝංකාර දුන්නේය.

අතේ පිහිය තබාගෙන මැකී කෙළින් නැඟිට සිටියේය.

“අනිත් මිනිස්සු ළඟ තියෙන ශක්තිය මට නැහැ” හේ පැවැසුවේය.

තසෝලෝ කෝපයට පත් විය.

“අපි ආකර හෑරුවෙ නැත්නම්  ඒ අය පොහොසත් වෙන්නෙ කොහොමද? අපි පාරවල් හැදුවෙ නැත්නම් ඒ අය වාහන එළවගෙන යන්නෙ කොහොමද? අපි පයින් යද්දි උන් අපෙන් සේරම උදුරගෙන. අපි මේ බැටළුව හොරකම් කළ එක ගැන උඹ කරදර  වෙනවා. උන් අපේ ඔක්කොම හොරකම් කරගෙන අපේ ශක්තිය පවා…..”

“මට තවම ශක්තිය තියෙනවා” මැකී පැවැසුවේය.

“මට ගෙදරට ළඟ නිසයි ඒ”

වියළි ගං ඉවුරේ උඩහ පැත්තෙන් අභියෝගාත්මක හඬක් ඇසිණ. ඒ සමඟම කොට තුවක්කුවකින් නිකුත්වූ වෙඩි හඬකින් කඳුකරය දෝංකාර දුන්නේය.

තසෝලෝ සහ තෙම්බා ආලෝකය වෙතින් ඉවතට පැන අඳුරට මුවාවී සැඟවුණේය.

ගිනි මැළයේ ආලෝකය ක්‍රමයෙන් මැලවී යන්නට විය. ඒ අසල පොරෝනා තුනකි. ගිනිගොඩ පසෙකින් පොරෝනා තුනකි. ඊට අමතරව තවත් සුන්බුන්වූ පොදි දෙකකි. ඉන් එකක් බැටළුවා සිටින පොදියයි. අනෙක් පොදිය මැකීයි.

කඳුකරයේ දෝංකාරය සමච්චල් කරමින් නැවත හඬ දෙන්නට විය. මට දැන් ගෙදරට ළඟයි….. ගෙදරට ළඟයි…. ගෙදරට ළඟයි….

(මේ කෙටි කතාවට පාදක වී ඇත්තේ කම්කරුවන් 400 දෙනකු විනාශ  කර දමමින් දකුණු අප්‍රිකාවේ කෝල්බෘෘක් ආකරයේ සිදුවූ ඛේදවාචකයයි.)

https://mawbima.lk/2025/01/18/%E0%B6%AF%E0%B7%9D%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA/

Nissanka Rajapaksa

unread,
May 2, 2025, 8:10:28 PMMay 2
to INDRAKA group
14

නෙළුම්යායේ ජීවිත

වියට්නාම් ලේඛිකා Tran Huyen Trang ගේ Lotus Life නම්  කෙටිකතාව

පරිවර්තනය – එම්.එම්. පාලිත මහින්ද මුණසිංහ 

ගම් පියස වටා හාත්පස කාලගුණය ප්‍රසන්න විය. එදින හදිසියේම අසල්වැසියෙක් ජීවිතය සමග පැවති රැඟුම නතර කළේය. අම්මා ගිම්හානයට පෙර නෙලූ නෙළුම් මල් පිරුණු කූඩය බිම තබා සුසුමක් හෙළුවාය.

“අනිත්‍යතාවය. මට ඒක පැහැදිලිව පේනවා. නමුත් අද උදේම ගෙදරට ඇතුල්වෙන තැන කොඩියක් එල්ලලා තිබුණා.”

වේලාසනින් ම ලා කහට තේ කෝප්පය පානය අවසන් කර සිටි තාත්තා තිගැස්සී ගියේය.

“කවුද ඒ?”

“සෙන් ගියා!”

“කා සෙන් නෙවෙයි නම්, මම මේ වෙද්දි එහෙට ගිහිල්ලා. අඩුම තරමින් අන්තිම ගමනට එයාව පිරිසිදු කරලා ලස්සන ඇඳුමක් මාරු කරවන්න උදව් කරන්න.”

“ඇයි ඔයා දැන් එහෙම කියන්නෙ? අවංකවම!”

එසේ කියමින් ඇයගේ සැමියා තවදුරටත් මැසිවිලි නගමින් චෝදනා නගමින් කඩිමුඩියේ ඒ මංතීරුවේ කෙළවරට ගියේය.

එයා ඉතා නරකයි. අසල්වැසියන්ටවත් සමු නොදී පිටත්ව යනවා!

කිසිවක් අසන්නට ධෛර්යයක් නොමැතිව සිටි බා චූ ඉතිරි නෙළුම් මල් කඩන්නට කුඹුරට යෑමට ඉඩ දෙන ලෙස පමණක් තම මවට කීවාය.

“අම්මේ ඔයා එතැනට ගිහින් අහල පහල අය බලාගන්න.” අම්මා ඈ දෙස බැලුවේය. බා චූ අවසන් වරට අසල්වැසියා බැලීමට යන බව දන්නා අයුරු අඟවමින් ඈ හිස වැනුවාය.

“මම දන්නවා! මට බයයි”

සිය අත මතට හූනකු වැටුණු විට පවා ක්ලාන්ත වන දියණිය දෙස බලා අම්මා දිවෙන් ශබ්දයක් නැගුවාය. එවැන්නියක අසාමාන්‍ය මුහුණක් ඇති අසල්වාසියාට සමුදීමට යන්නේ කෙසේද?

යුද සමයේ අයාලේ ගිය උණ්ඩ කිහිපයකින් ඔහුගේ මුහුණේ දිගු ගැඹුරු සිදුරක් නොතිබුණේ නම්, කා සෙන් නළුවෙකු මෙන් කඩවසම් වනු ඇතැයි තාත්තා එ කල පැවසුවේය. එක් ප්‍රහාරයකදී කකුලක් වනාන්තරයේ නොවැටී තිබුණේ නම් මීටර එකයි සෙන්ටිමීටර හැත්තෑවක සද්දන්තයා අදටත් දකින්න තිබුණා. කිසි විටෙක යුද්ධයක කුරිරු බව නැති නොවේ. එය පුද්ගලයෙකුගේ ජීවිතයෙන් සුන්දරම දේ ඉවත් කර, මිනිසුන්ට කිසිදා ලබා ගැනීමට අකමැති දේවල් ළඟාකර දෙයි.

බොහෝ කලක සිට නිවස අවට සිටි අය ඒ අමුතු රුව පිළිගැනීමට හුරුපුරුදු වී සිටියහ. කෙසේ වෙතත්, කා සෙන් ගේ මුහුණ දැකීමට දරුවන්ට අවස්ථාව ලැබුණේ කලාතුරකිනි. අහල පහල ළමයින් නිතරම සුවසේ නිදා ගත්තේ ඒ නිසා වන්නට ඇත. මිනිසුන් දුටුවේ අතිශයින් ශක්තිමත් මී හරක් ජෝඩුවක් සමග දඟලමින් ඔහු කුඹුරේදී බිමට නැවී නගුල හැරවීම පාලනය කරන අයුරු පමණි. අසල්වාසීන්ගේ සෑම කුඹුරකම කා සෙන් සහ ඔහුගේ මී හරක් රංචුවේ අඩි සලකුණු සටහන් වී තිබුණි.

එවැනි දිනක මධ්‍යහ්නය වන විට පිටිය මැද පිහිටි උස් කැනේරියම් ගස් යට මී ගවයන් විවේකීව තණ කන අතරතුර, ඔහු ද විවේක ගනිමින් තම බටනළාව වාදනය කිරීමට අවස්ථාව ලබා ගත්තේය. අගහිඟකම් සහිත දවස්වල ගෙදර බිත්ති ඔරලෝසුවක් නොතිබූ නිසා, හවස පන්ති යන වෙලාව ළඟ බව දැනගන්නට බා චූ නිතරම පිට්ටනියේ බටනළා නාදය ඇසෙන තෙක් බලා සිටියා ය. ඒ කාලයේ ළමයි ගමේ පාසලේ ඉගෙනගෙන, ඉන් පසු ජීවිකාවක් සඳහා නගරයට ගියහ. අමුතු මිනිසාගේ මධුර බටනළා හඬ ද කනස්සල්ල මැද වියැකී ගියේය.

කා සෙන් ගැන සොඳුරු මතකයක් තිබුණේ නම් බා චූ හට මතක තබා ගත හැක්කේ ඇයගේ නෙළුම් කෙත වටා ඔහුගේ නොසන්සුන් පියවර හඩ පමණි. වරෙක නෙළුම් යාය දෙස බැලූ ඇයට සිතුණේ ඒ හොරෙක් කියාය. ඇයගේ මව මහ හඬින් සිනාසුණාය. හොරුන් පිළිබඳව ඇස ගසාගෙන සිටියේ කා සෙන් ය. ඔහු කිසිදා නෙළුම් මලක් නෙළා නොතිබුණ ද, පිපී සැලෙන නෙළුම් මල් දෙස වශීකෘතව බලා සිටියේය.

ඇතැම් දිනවල, අසල ගමේ මී හරක් පැමිණ නෙළුම් කෙත පාගනවිට, ඇයගේ දෙමාපියන් උන් ගැන අනුකම්පා කළ අතර ඔහු ඊට වඩා දස ගුණයකින් අනුකම්පා කළේය. එතැන් පටන් බා චූ ගේ මව්පියන් කුඹුරේ නොමැති විට ඔහු නෙළුම් යාය දෙස වරින්වර ඉතා පරිස්සමින් බලමින් අවට කුඹුරුවල සීසෑම කළේය. ඒ නිසා ඒ අසලට පැමිණ කරදර කිරීමට තරම් මී හරකුන් නිර්භීත වූයේ නැත.

බා චූ නිහඬව පෝලිමේ හිටගෙන සිටිනු දුටු අම්මා මඳක් නැවතුනාය. ඈ කිසිවක් නොකියා, කා සෙන් වැතිර සිටින තැන දෙසට සීරුවෙන් දෑස යොමු කළාය. සියල්ල නිහඬය. මීට වසර ගණනාවකට පෙර මී හරක් ජෝඩුවට කුඹුරුයාය හරහා දුවන්නට අණ දුන් ගිගුරුම් හඬ දැන් කොහිද? ඔහුගේ බිරිඳ ඔහුට කතා කරන විට පවා ඔහු සවන් දීමට උත්සාහ කළේ නැත. එකවර ම, බා චූ ගේ හිතට අමුතුම සිතිවිල්ලක් ඇති විය. ඔහුට ඇයව මතකද? වරක් ඔහු නිසා මර බියට පත් වූ දැරිය? ඉන්පසුව අද වනතුරුත් යුද කැළැල්වලින් පිරුණු ඒ මුහුණ දෙස තවත් එක වතාවක් හෝ කෙලින් බලන්නට තරම් ඈ එඩිතර වූයේ නැත.

අඳුරු, විකාර සහගත මුහුණ දෙස සන්සුන් වී, බා චූ බලා සිටියාය. එය අමුතුම මෘදු හා ශාන්ත බවකින් යුක්ත විය. යමෙක් මෙලොව හැර ගිය විට ඔහුගේ සියලු කරදර දුරු කළ හැකි නම්, ඔහුගේ මුහුණ පිනි බිඳුවක් මෙන් පිරිසිදු වන බව ඇයගේ ගුරුවරයා වරක් ඇයට උගන්වා තිබුණි. නමුත් අවසන් හුස්ම හෙළන තුරු ඔහු සමග ජීවත් වීමට ඔහුගේ බිරිඳට හැකි වූයේ කෙසේද? ඒ කුඩා, මෘදු ගැහැණියට තිබුණේ හැඟීම්වලින් පිරුණු විලක් බඳු දෑසකි.

කුඩා නිවස සුදු රෙදිවලින් ආවරණය කර තිබුණි. බා චූ වටපිට බැලුවාය. නිවසේ මැද ඉහළ සිට පහළට අසල්වැසියෝ බොහෝ දෙනෙක් රැස්ව සිටියහ. කා සෙන් ගේ ඇඳ වටේට නෙළුම් මල් තබා සකසන්නට චූ ගේ අම්මා උදව් කළාය.

“නෙළුම් මල් අද හරිම ලස්සනයි. ඔයාට කැමති විදිහට ඒවා අගය කරන්න කා සෙන්!”

කා සෙන් ප්‍රියකරන නෙළුම් මදයෙන් සෑදූ තේ කෝප්ප තුනක් තැබීමටත්, ඔහු වෙනුවෙන් යාඥා කිරීමටත්, බා චු පූජකයාගෙන් අවසර ඉල්ලා සිටියාය. මළගෙදර කිසිවකු හඬන හඬක් ඇසුණේ නැත. එහි වූයේ, අනුස්මරණ, සහ උණුසුම් අතට අත දීමේ සංවාද වචන පමණි.

එක්වරම හුරුපුරුදු සිනහවක් දුටු බා චූ තිගැස්සුණාය. ඔහුට ඉතිරි දුර යෑමට මග පෙන්වීමට සිටි තැනැත්තා, උඩ කෙළවරක සිටගෙන සුදු ලෝගුවක් හැඳ, තොප්පියක් පැළඳගෙන, යෂ්ටියක් අතැතිව සිනාසෙමින් සිටියේය. කා සෙන් ගේ එකම පුත්‍රයා වූ උමතු ටෝ – වසර දහයකට වැඩි කාලයකට පෙර ඔහුගේ උන්මත්තක සිනහව නොසැලකිලිමත් ලෝකයට ගෙන ආවේය. ටෝගේ කුඩා අල්තාරය මත, කිසිවකු හෝ විසින් පිටතට පැතිරෙන සුවඳක් සහිත රන්වන් කහ පැහැ ඉදුණු පේර පිඟානක් තබා තිබුණි. එහි මෘදු සුවඳ බා චූ ගේ මුළු ළමා කාලයම හැඟවූයේය.

බා චූ තුෂ්නිම්භූත වූවාය. ටෝ – ඈ සහ මෙම දුප්පත් අසල්වැසි දරුවන් සමග හැදී වැඩුණේය. නමුත් ඈ කිසිවිටෙකත් ටෝ සමග මිතුරු වී සිටියේ නැත. ලැජ්ජාශීලී කොල්ලාගේ අමුතු හිනාව ඇයට මතක් විය. එය මහ වැස්සේ ගෙම්බන් නගන හඬක් මෙන් විය. ටෝගේ හබල් දෙකක් මෙන් එහා මෙහා පැද්දෙන කකුල් දෙක නිසා, ලේනුන් වැනි අනෙක් ළමයින්ගේ කකුල් සමග තරග කිරීමට තබා සිතීමට හෝ නොහැකි විය. ටෝගේ මුඛයේ ඇදට පිහිටි දත්, එයට එක්කළේ කියත් තලයක පෙනුමකි. හිඩැස්වලින්, වක්‍ර දත් හරහා නොනවත්වා ගලා ආ කෙළ, ඔහුගේ කමිසය මතට වැටිණි.

බා චූ වැඩිවියට පත් වූ විට, ටෝ සහ අනෙක් පිරිමි ළමයින් ද උසින් වැඩී සිටියහ. නමුත් ටෝ කතා කිරීමට නොදැන සිටියේය. ඔහු ළඟ වූයේ සිනහව පමණි. සිනහවට අමතරව, ටෝ ගැහැනු ළමයින්ට ද, කැමති බව පෙනෙන්නට තිබුණි. තම අදහස් ප්‍රකාශ කිරීමට බොහෝ විට ඔහු කළේ, ඈ වෙත පැමිණ, සිනාසී, පසුව එක්වර ම ඇයගේ කම්මුල අතගෑම ය. ටෝ ගේ ක්‍රියාව නිසාම ඈ අසල්වැසි මිතුරන්ගේ විහිළුවට ලක් වූවාය. තමා දින කිහිපයක් කන්නට හෝ නිදා ගන්නට නොහැකි තරමට බියෙන් හා කෝපයෙන් සිටි බව බා චූ ට මතක් විය. ඒ නිසාම, ටෝ සමගින් ඈ කෝපයෙන් පසු වූ අතර ඔහුව මඟ හැරීමට ද උත්සාහ කළාය.

එ කල, නිවසේ සැදූ එළවළු හෝ කැලෑ පලතුරු හැර රසවත්, අමුතු දේවල් තිබුණේ නැත. අසල්වැසි ඉඩමක පාළු ළිඳක් අසල, වසර පුරා ඵල දරන පැරණි පේර ගසක් විය. ඉදුණු පේර ගෙඩි මහත් වූ සුවඳින් යුක්ත විය. අතහැර දැමූ ළිඳ හා බැඳුණු අවතාර පිළිබඳ බොහෝ කටකතා නොසලකා හරිමින්, බා චූ මිහිරි සහ සුවඳැති පේර පොකුරුවලට වශී වී සිටියාය.

සෑම හවසකම, ඈ, ටෝ මගහැරීම සඳහා කා සෙන්ගේ නිවස පසුකර නොගොස් පේර ගසට නැංගාය. කෙසේ වෙතත්, ටෝ නිවසේ රැඳී සිටීමට අකැමැති බව ඇයට අමතක විය. කලෙක සිට ඔහු තමා පසුපස එන බව ඇයට දැනී තිබිණි. පේර කඩන්නට බා චූ ගසට නගින්නට සූදානම් වන මොහොතේ ම ඇසුණු ටෝ ගේ සිනාවට තිගැස්සුණු ඈ වහා එතැනින් පලා ගියාය.

“ඉතින් ටෝ ත් පේර කන්න කැමතිද? ඒ කටින්…”

බා චූ සුසුමක් හෙළුවාය:

“මමත් දන්නෙ නැහැ. නමුත් ඔයා දන්නවනෙ, මිනිස්සු ටෝ ව ඒ පාළු ළිඳෙන් එළියට ගන්නකොටත් එයාගෙ අතේ ඉදුණු, සුවඳ, පේර පොකුරක් තදින් අල්ලාගෙන හිටිය බව.

බා චූ ට සියල්ල සිහි විය. එදා ටෝගේ මරණයෙන් අසල්වැසියෝ කම්පනයට පත්වූහ. ටෝ පිළිබඳව ළමයින්ට දුකක් හෝ සතුටක් නොතිබුණත් බරකින් නිදහස් වූ බවක් ඔවුන්ට දැනුණු බව නම් පැහැදිලි ය. ටෝ තවදුරටත් තමාට කරදරයක් සහ හිරිහැරයක් නොකරන නිසා ඇයට ද, සහනයක් දැනුණි. ඒ සිදුවීමෙන් පසු අවට පරිසරය පුදුමාකාර ලෙස නිහඬ විය. ඒ සමහරවිට මිනිසුන් බොහෝ කලක සිට ටෝගේ අමුතු සිනහවට හුරුපුරුදු වී තිබුණු නිසා විය හැකි ය. ලෝකයේ වඩාත්ම සැහැල්ලුවෙන් සිටි පුද්ගලයා… ඒත් ගෙම්බන් කෑ ගසන්නා වැනි සිනාව හිරකරගන්නට බැරි තරම් ඒ ජීවිතය කුඩා වැඩි වන්නට ඇති.

ටෝගේ මරණයෙන් පසු, කා සෙන් අඩ සිහියෙන් යුතු වෙනස් පුද්ගලයෙක් බවට පත් වූ බවක් පෙනෙන්නට තිබුණි. ඔහුට සිහිකල්පනාවෙන් සිටින වෙලාවට උදේ සිට රෑ වන තුරු මී හරක් සහ නගුල් ඈඳාගෙන කුලියට කුඹුරු සී සෑම කළේය. දිගු වේලාවක් මත්පැන් පානය කිරීමෙන් පසු බීමත්ව සිටින විට ඔහු මී හරකකුගේ පිට මත වැතිරී සිටියේය. මී ගවයෝ තම ස්වාමියා ගෙදරට රැගෙන ගියහ. දිනක්, ඔහු පිට මත සිටියදී මී හරකුන් ගඟෙන් එගොඩ වෙද්දී, බා චූගේ තාත්තා මාළු අල්ලන්න ගඟට ගොස් නොසිටියා නම්, ඔහු ද, ටෝ සිටි ඈත ලොවට පා වී යන්නට ඉඩ තිබුණි…

පේර ගස…, පාළු ළිඳ…, ටෝ ….සහ කා සෙන්…

බා චූ වෙව්ලන්නට වූවාය. කා සෙන් පාළු ළිඳ පිටුපසින් එළියට පැන තමාටත් අසල්වැසි අනෙක් දරුවන්ටත් බැණ වැදුණ අවස්ථාව ඇයට සිහිපත් විය. ඒ ප්‍රදේශයේ සිටි අමුතු ම මිනිසා ඇයට හමු වූ පළමු සහ එකම අවස්ථාව විය. ඔහුගේ ගිලුණු මුහුණ සහ නෙරවාගත් දීප්තිමත් දෑසින් යුතුව ළිඳ අසලින් පිටතට පැන්නේ මුළු රංචුවම බිය ගන්වමිනි. ඔවුන් තම නිවෙස් වෙත ළඟාවන තුරු ම දිව්වේ හඬමිනි. නමුත් ඊට වන්දියක් ලෙස පසුදා උදෑසන ඇයගේ නිවසේ ගේට්ටුවේ ප්‍රණීත පේර පොකුරු කිහිපයක් එල්ලා තිබෙනු දැක ඈ පුදුමයට පත් වූවාය.

බා චූ තම තාත්තාගෙන් ඒ ගැන විමසුවාය. අම්මගෙන් විමසා සිටියාය. අසල්වැසියන්ගෙන් අසා බැලුවාය. ඇයට පිළිතුරක් දෙන්නට කිසිවකුට නොහැකි විය. ඇයගේ මව මෙලොව පැවැත්ම පැහැදිලි කළ ආකාරයටම ඇයට තෑග්ගක් ලෙස කොකෙක් පේර ගෙනැවිත් දුන්නාද? කොකෙක් ඇයව ඇයගේ පියාට හා මවට ගෙනැවිත් දී ඇත. නමුත් මේ කොකා ඇත්තෙන් ම අමුතු ය. ඔහු ඇයට පේර පොකුරු කිහිපයක් ගෙන ආ නමුත් ඉන් පසුව පේර ගස දැකගන්නට නොතිබුණි. අතහැර දැමූ ළිඳ වටා ළමයින් ගැවසීම නතර විය. කා සෙන් පවා තම උමතු ක්‍රියා නවතා දමා, නැවත මී හරක් රැගෙන සීසාන්නට ගියේය. ඔහුගේ කොර ගැහෙන කකුල කිසිවකුට සම කළ නොහැකි තරමට දක්ෂ ලෙස හැසිරවූයේ ය.

කෙසේ වෙතත්, බිය ගෙන දුන් සහ ඇයගේ ළමා කාලයේ සුන්දර කොටසක් අඳුරු කළ පුද්ගලයා කෙරෙහි වූ අමනාපය තවමත් බා චූ තුළ විය. ඔහුගේ සෙවනැල්ල දකින සෑමවිටම ඇය කා සෙන් මග හැර ගියාය.

“මාව බය කළාට සමාව ඉල්ලන්න එයා මා ළඟට ආවා. නමුත් එයාට මාව හොයාගන්න බැරි වුණා.”

බා චූ ට දැනුණේ තම හදවත නතර වී ඇති බවකි. තම පියාගේ කටහඬ එහි විශාලත්වය තුළ ගිලී ගියේය.

“ඔයා දන්නවනේ, මට මගේ දරුවගේ මිනිය ගැඹුරු ළිඳකින් ගොඩගන්න වුණොත්, සමහරවිට, මට කා සෙන් ට වගේ පිස්සු හැදෙන්නෙ නැතිවෙයි.”

බා චූ නිවස පිටුපසට ගියාය. පලතුරු සමයේ ඵල දැරූ පේර ගස සුවඳවත් විය. කා සෙන් මේ පේර ගස රෝපණය කළේ, අතහැර දැමූ ළිඳ අසල ඇති අනතුර නැති කිරීම සඳහා, කපා දැමූ පේර ගසට වන්දි ගෙවීමට ය. ඔහු දොර පුළුල් ලෙස විවර කරගෙන වසර ගණනක් බලා සිටි නමුත් බා චූ හෝ අසල්වැසි දරුවන් කිසිවිටෙකත් එතැන නතර නොවූහ. බා චූ නිශ්ශබ්දව සිටියාය. හදිසියේම කඳුළු වැටෙන බව ඇයට දැනුණි. අකැමැත්තෙන් වුවද, ඔහු එසේ කර තිබුණේ බා චූ සහ ඇයගේ මිතුරන් එහි යෑම වැළැක්වීම සඳහා ය. පාළු ගැඹුරු ළිඳේ කට තවදුරටත් විවෘත ව තිබුණි.

කා සෙන්ගේ පළමු බිරිඳ මෘදු ලෙස බා චූ ගේ අතින් අල්ලා ගත්තාය.

“ඔයාගේ මාමා වෙනුවෙන්, එයා ඔයාව බය කළ අවස්ථා ගැන මම ඔයාගෙන් සමාව ඉල්ලනවා.”

තම මෝඩ පුතා පේර කන්නට කිසිදා කැමැත්තක් නොදැක්වූ බව ඇය හෙළි කළ විට බා චූ මවිතයට පත් වූවාය. අනේ දෙවියනේ! ඇයි බා චූ ඒ ගැන දැන් දැනගත්තෙ? ටෝ අතේ තිබූ සුවඳ පේර පොකුර බා චූට දෙන්නට සිතාගෙන සිටි තෑග්ගද? පිස්සු ටෝ ට හැඟීම් නැතැයි කීවේ කව්රුන්ද ? එය, බා චූ සහ ඇයගේ මිතුරන් වැනි සිහිබුද්ධිය ඇති මිනිසුනට කිසිදා නොතේරෙන අමුතු, පිවිතුරු ආදරයක් විය.

වසර දහයකට වැඩි කාලයක් ටෝ, ඒජන්ට් ඔරේන්ජ් ්ටැබඑ ධර්බටැ රසායනිකයෙහි බලපෑම පිළිබඳ ව ජීවමාන සාක්ෂියක් වී ඇත. යුද්ධය කා සෙන් ගේ සිරුරේ කොටසක් උදුරා ගෙන ඔහුගේ පැහැපත් මුහුණ විනාශ කළ නමුත් ආපසු ඔහුට ඉතිරි වූයේ වේදනාකාරී තුවාලවලින් පිරුණු ජීවිතයක් පමණි.

එක්වර ම, බා චූ හට දැඩි ලැජ්ජාවක් දැනුණි. මිලින වී යන, මෘදු නෙළුම් මලකට අනුකම්පා කළ හැකි මිනිසකුට, තවත් කෙනෙකුට රිදවිය නොහැකි බව තමා කිසි විටෙකත් නොසිතුවේ ඇයි? නැත. සම්පූර්ණයෙන් ම එසේ නොවේ. කා සෙන් සහ ඔහුගේ පුතා අවාසනාවන්ත ඉරණම් දෙකක් විය. එහෙත් ඔවුන්ගේ ජීවිත තුළ ආදරය තවමත් ගලා ගියේය.

කා සෙන් නැති වුවද, ඒ අමුතු රුව මෙහි සිටින බොහෝ දෙනාගේ සිත්වල රැඳෙනු නිසැක ය. කවුරුන් හෝ හඬමින් කා සෙන්ගේ හුරුපුරුදු බටනළාවෙන් සමුගැනීමේ ගීතය වාදනය කරනු ඇසෙයි.

බා චූ දැන් ඔවුන්ගෙන් සමාව ගතහොත් එය ඔවුනට ඇසෙනු ඇතිද?


Nissanka Rajapaksa

unread,
May 3, 2025, 7:26:17 PMMay 3
to INDRAKA group
15
අලුත් අවුරුදු සරදමක්

(මාර්ටින් වික්‍රමසිංහ -
මඟුල් ගෙදර කෙටිකතා සංග්‍රහයෙන් )

“අපට මොන අවුරුද්-ද-ද්-ද?” යන වචන ඇදලා කියමින් ඇඳ මත වාඩිවී සිටි අබරන් මුදලාලි බිරින්දෑ දෙස බැලුවේය. අබරන් මුදලාලි හැට වයස් වූ මහල්ලෙකි. නමුත් ඔහුගේ කෙස් ඉදී නැත. දත් වැටී නැත. බෙලි කටුව තුළ වසන බෙල්ලෙකු මෙන් ඔහු හුදෙකලාව වාසයකට කැමැත්තෙකි. තරුණ වියෙහි සිට මුදල් සැපයීමට මිස කෙළි සෙල්ලම්වලට කාලය ගත නොකෙළේය. ජීවිතයේ දුක් නමැති තද නියඟයටත්, සැප නමැති වැස්සටත් එකම ගුණයක් පෙන්වන දැඩි කළුගලක් මෙන් හදවතක් ඇත්තෙකි. සිංහල අවුරුදු කාලයේ ඔහු නෑ මිතුරන්ගේ ගෙවලට නොයන්නේය. ඔහු බැලීමට නෑ මිතුරන් පැමිණෙනවාට ද සතුටු නැත.

“අපට අවුරුද්දක් නැතත් පුංචි ඈයන්ට අවුරුද්ද දෙන්නට එපායැ”

“පුංචි ඈයන්ට -හ්ම්” කියමින් අබරන් මුදලාලි බිරින්දෑ දෙස රවා බැලුවේය.

“ පුංචි ඈයන්ට මොකොටද අවුරුද්දක්? අවුරුද්දය කියන්නේ මොකක්ද?”

“අවුරුද්දය කියන්නේ දොළොස් මාසෙකට පස්සෙ එන දවසක් නෙව… එහෙම දවසකටවත් පුංචි ඈයන්ට කාල බීල සෙල්ලම් කරන්ට ඕනෑ දෙයක් දෙන්ට එපායැ”

“දොළොස් මාසෙකට පස්සෙ එන දවස?” කියමින් අබරන් මුදලාලි ගස්සාගෙන අනික් පසට හැරුණේය.

“ අප්‍රේල් මාසෙ 13 වැනිදා විතරක්ද දොළොස් මාසෙකට පස්සෙ එන දවස?”

“ ඇයි අදත් දොළොස් මාසෙකට පස්සෙ එන දවස තමයි… ගිය අප්‍රේල් මාසෙ 10 වැනිදා සිට ගණන් බලන්ට බැරියෑ… කන්නෙ බොන්නෙ අඳින්නෙ පළඳින්නෙ අප්‍රේල් මාසෙ 13 වැනිදාට විතරක්ද?"

කියමින් අබරන් මුදලාලි බිරින්දෑ සමග තර්ක කරන්නට සුදානම් වුයේය.

“ඕවාට උත්තර දෙන්ට අනේ මං ඉගෙන ගත්තේ නැහැ.” කියමින් භාර්යාව තම ඇකයෙහි වාඩි වී සිටි අට හැවිරිදි ළමයාගේ හිස දබරැඟිල්ලෙන් කසන්ට වූවාය.

“ අවුරුදු තමයි…. ඉතින් අපට…” කියමින් කන බොන අඳින පළඳින දේවල් මිල වැඩි වී විවාහ වූ පුරුෂයන්ගේ පසුම්බි හිස්වන කාලයේ කෙළි සෙල්ලම් කිරීමට කතා කරන තම බිරිඳගේ අනුවණකම ගැන අනුකම්පා කළේය.

“සන්තෝස වෙන කාලේ පහුගියා. ඒ කාලෙ හාල් සේරුවක් කීයද? තුට්ටු තුනයි. රෙදි යාරයක් කීයද? තුට්ටු හයයි. ඒ කාලෙ හය අට දෙනෙක් ඉන්න පවුලකට කන්ට වේලකට ශත දහහතරක් තිබුණම ඇති…නමුත් දැන් හැදෙන ඉලන්දාරියෙකුට ඒ මුදල දවසකට සිගරැට් බොන්ටත් මදි! ඒ කාලේ ඉලන්දාරි පැටික්කියන් පවා හැට්ට කැපුවෙ මන්නෙන්…. දැන් හැදෙන පැටික්කියන්ට කතුරු නැතිව හැට්ට කපන්න බෑ!… ලෝකෙ නැතිවෙන්නට එනවා.”

“ලෝකෙ ඇති වුණත් නැති වුණත් රටේ ලෝකෙ මිනිස්සු වැඩ කරන විදියට අපිත් වැඩ කරන්ට එපායැ. මේ නොදන්න ඈයන්ට මොකුත් හදල නොදුන්නොත් ඒක මහ අපරාධයක්”

“රටේ ලොකෙ මිනිස්සු….හ්ම්! රටේ ලෝකේ මිනිසුන්නේ විත්තියක් අපට මොකටද? අපට තිබෙන හැටියට කාල බිල ඉන්නව මිසක්…”

“අපි අවුරුද්දක් ඉල්ලුවායැ… මම කීවේ මේ පුංචි ඈයන්ට මොකුත් හදලා....."

“පුංචි ඈයො!” කියමින් අබරන් මුදලාලි ඇඳෙන් නැඟිට ශාලාවට ඇතුළු කාමරයකට ඇතුළු වූයේය.

කවුළු නැති බිත්ති හතරකින් වටවූ කුඩා උළුවස්සක් ඇති එම කාමරය දවල් කාලයේ ද ලෝකාන්තරික නරකය මෙන් අඳුරුය. තමාගේ ධනය සඟවා තබන ලද අල්මාරිය තිබෙන තැන ඔහු හිතින් දන්නේය. බස්සෙකුට මෙන් ඔහුට රෑ ද අල්මාරිය පෙනෙන්නේය. ඔහු අල්මාරියට ළංව පිටිපස එල්වාගෙන තිබුණ යතුර ඉණ වටේ කරකවා ඉදිරියට ගෙන අතපත ගාමින් යතුර යතුරු කඩොල්ලෙහි රුවා අල්මාරිය විවෘත කොට එහි කෙළවරක තිබුණ පසුම්බි හතඅටකින් එකෙක අත තබා නැවතත් වටපිට බැලුවේය. භාර්යාව ශාලාවට ඇතුළු වෙනවා දුටු අබරන් මුදලාලි වහාම පසුම්බිය මුල්ලට තල්ලු කොට, “හුනු පුවක් කන්න රුපියලක් ඉතුරු කරගෙන තිබුණා. ඒකත් නැතුවා වගෙයි.” කියමින් අල්මාරි තට්ටුව අතපත ගාන්ට වූයේය. භාර්යාව ශාලාවෙහි බිත්තිය මුල්ලේ තිබුණ හුනු මුලකින් හුනු ටිකක් ඇඟිල්ලට ගෙන නැවත ඉස්තෝප්පුවට ගොස් බංකුවක් මත වාඩිවී බුලත් සපන්නට වූවාය.

අබරන් මුදලාලි නැවත පසුම්බිය ගෙන උනා රුපියලක් ගෙන ඉණේ රුවා ගත්තේය. පසුම්බිය තරකොට බැඳ අල්මාරියේ කෙළවරට තල්ලු කොට අල්මාරිය වසා යතුර ඉණෙහි බැඳ පිටිපසට කරකවා සඟවා ගත්තේය. අල්මාරියේ දොර පළුව දෙතුන් වරක් ඇද සොලවා බලා ආපසු ගමන් කළේය. දොරටුව දක්වා ගමන් කොට නැවතත් ආපසු හැරී ගොස් අල්මාරිය හොඳින් වැසී තිබේදැයි සොලවා බැලුවේය.

“මෙන්න හුනු පුවක් කන්ට ඉතුරු කරගෙන තිබුණ රුපියල” කියමින් අබරන් මුදලාලි ඉණේ තුබුණ රුපියල ගෙන භාර්යාවට දුන්නේය.

“හාල් සේරුවක් ගෙන්වා පිටි කොටවලා කැවුමුත් මුංගෙඩිත් හදලා දුන්නාම ඇති.”

“ඔය ඕනෑ නැති අළුවත් කොර්දියෙලුත් මොන ඇන්නෑවකටදැ”යි කියමින් අබරන් මුදලාලි අලුත් රස කෑම වර්ග බෝ කරන ලද ගෑනුන්ට සාප කළේය.

අබරන් මුදලාලි නැවතත් ඇඳ මත වාඩිවී දසරුවක් වසා දාගෙන තිබුණ සරම ඇඳ හරිගස්සමින් භාර්යාව දෙස බැලුවේය. එහි හුනු පුවක් කන්නට තිබුණ රුපියල…. "අහල පහළ ගෑනු අල්ලාගෙන, ලෝකෙ රටේ මිනිසුන්ගේ ඕපාදූප කතාකරමින් වඳුරන් කොළ කන්නා වගේ බුලත් කන්ට එපා. දැන් මා ළඟ හුනු පුවක්වලටවත් සල්ලි නැහැ…….”

“කෝ සීයා…අපට අවුරුද්ද?” කියමින් කුඩා කුසුමා අබරන් මුදලාලි ළඟින් වාඩිවී ඔහුගේ ගෙල වටේ යුගත් යවාගෙන සිනාසෙන්නට වූවාය.

“සීයාට ඔච්චර සල්ලි තියෙනවා. අපට අවුරුද්දට මොකුත් අරන් දෙන්නේ නැහැ. වෙන දෙයක් තියා රතිඤ්ඤා පෙට්ටියක්වත් අරගෙන දෙන්නේ නැහැ.”

12 වැනි දින උදේ අබරන් මුදලාලිගේ වැඩිමහල් දියණිය ගෙදර සිට තම දියණිවරුන් දෙන්නාත් සමඟ තෑගි බෝග රැගෙන පියාගේ ගෙදරට පැමිණියාය. ඇගේ ස්වාමීයා ගම නොසිටියේය. දියණිවරුන් දෙන්නාගෙන් කුසුමාගේ වයස අවුරුදු හයකි. අනික් දියණිය සොළොස් හැවිරිදි තරුණියකි.

“දඟ නොකර නිකා ඉඳින් දරුවා… සීයාට සල්ලි කොයින්ද? බොලා එපායැ සීයාට සලකන්න.” කියමින් අබරන් මුදලාලි සිනාසුණේය.

“අනේ හොඳයි සීයා! ඔච්චර සල්ලි තියෙනවා. ඒත් නැත කියනවා. වෙන එකක් තියා දනක් පිනක්වත් කරන්නේ නැත කියා අම්මාත් දොඩනවා.”

“දනක් පිනක් හ්ම්…මම එහෙමකට පව් කරලා නැහැ දරුවා… පිං කරන්ට ඕනෑ පව් කරා නම්… මම එහෙම කවදාවත් පව් කරපු මිනිහෙක් නෙවී.”

තේ වතුර සූදානම් කරනලදින් අබරන් මුදලාලිත්, කුසුමාත්, මවත්, කුසුමාගේ සහෝදරියත් තේ මේසය ඉදිරියේ අසුන්වල වාඩි ගත්හ. කුසුමා කාමරයකට දුව ගොස් පාර්සලයක් ගෙනැවිත් උනා එහි තිබුණු දේ කිසිවකට දමා සීයාට දුන්නාය.

“ ආ සීයේ… සීයාට මම බොහොම මහන්සි වෙලා මේ මුංගෙඩි හදාගෙන ආවා.”

අබරන් මුදලාලි කන් යුගල දක්වා මුව දික්වන සේ සිනාවක් පහළ කොට මුංගෙඩියක් ගෙන මුඛයෙහි ළා ගත්තේය.

කුසුමා සිනාසෙමින් ඉස්තෝප්පුවට දුව ගියාය. අබරන් මුදලාලි දෙපළු වූ කරුංකා ගෙඩියක් සහිත මුංගෙඩි පළු දෙකක් බිම හෙළුවේය.

කුසුමාගේ මවට ද සිනා පහළ වෙන්ට ආ නමුත් සිනාව යටපත් කරගෙන ‘මෙහෙ වරෙන්’ යැයි කෝපයෙන් කුසුමාට ආමන්ත්‍රණය කළාය.

“ පේනවායැ මෑ කළ වැඩේ, අපි දන්නේ නැහැ. මුංගෙඩි පාර්සලයක් සීයාට දෙන්නට යැයි කියා බැඳගෙන ආවා.”

“අපිත් විශ්වාස කරා ඇත්තක් මෙන්” කියමින් කුසුමාගේ මව තම පියා දෙස බැලුවාය.

“සීයා තරහද?” කියමින් කුසුමා සීයාට ළංව ගෙල වටේ යුගත් යවා ඔහුගේ මුහුණ සිම්බාය.

“මැගෙන් බේරෙන්ට බෑ නොවැ! ආ… මෑට රතිඤ්ඤා පෙට්ටියක්වත් ගෙන්වා දෙන්නට” යැයි කියමින් අබරන් මුදලාලි ඉණේ තිබුණු ශත දහයක් ගෙන භාර්යාවට දුන්නේය.

https://divaina.lk/%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A-%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94-%E0%B7%83%E0%B6%BB%E0%B6%AF%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A/

Nissanka Rajapaksa

unread,
May 5, 2025, 8:58:37 AMMay 5
to INDRAKA group
16
ලොම්බා  

- සරත් සමරසේකර 
 
සිරිනන්දට එකපාරට ම සිරිපාල මතක්වුණා. ඇත්ත වශයෙන්ම මේ වෙලාවෙ වැදගත් වෙන්නෙ සිරිපාල මතක් වෙන්න බලපෑ හේතුව මිසක් සිරිපාල නෙවෙයි. ඒ වුණත්, ඒ හේතුව මොහොතකට අමතක කරල සිරිපාල ගැන මුලින්ම කතා කරන්න ඕන කියල සිරිනන්ද හිතුව.

සිරිපාල ගැන පන්තියෙ හැමෝට ම හිනාවක් ගේන හේතුවක් තිබුණා. ඇතැම් විට ඒක එයාගේ කටේ දත් අඩු එක. නැත්නම් එයාගෙ පණ්ඩිත වැඩ. කොහොම වුණත් දක්ෂයෙක් වෙච්ච සිරිපාල කරන කියන බොහෝ දේ කෙලවර වෙන්නෙ කටේ විත්තිය මුල් කරගත්ත විහිළුවකින් බව එයා කවදාවත් තේරුම් ගත්තෙ නැහැ. එයාට ළමයි කිව්වෙ “දත් නැති එකා” කියල. 

ඒ ඇරෙන්න “ටීත් මිසිං”, “ලොම්බා” කියන වචන පවා අවස්ථාවට ගැලපෙන විදියට පන්තියෙ ළමයි පාවිච්චි කරනව සිරිනන්ද අහල තිබුණා. ඒ වුණාට සිරිපාලගෙ දත් ඔක්කොම හැලිලා නැති නිසා එයාට “ලොම්බ” කියන එක සාධාරණ නෑ කියල තමයි සිරිනන්ද හිතුවෙ. 
සිරිපාලගෙ දත් නැතිවුණේ බයිසිකල් පදින්න ගිහිං වෙච්ච අලකලංචියක් හින්ද කියල තමයි කියන්නෙ.

පව් ඉතිං සිරිපාල. හරි හොඳ ළමය.

* * *

මෙච්චර කාලෙකට පස්සෙ සිරිනන්දට සිරිපාල මතක් වෙන්න හේතුව නම් සිරිනන්දගෙ ඉස්සරහ දත ගලවන්න සිද්ධ වෙච්ච එක. ඒ අනුව සිරිනන්දටත් ලොම්බෙක් වෙන්න සිද්ධ වෙච්ච එක. ඒ වුණාට එදා සිරිපාලට වගේ අද සිරිනන්දට කතා අහන්න සිද්ධ වෙන්නෙ නෑ. මොකද ඉස්කෝලෙ යන්නෙ නැහැනේ. ඒ කාලෙ පහුවෙලා ගොඩක් කල් නේ. 

සිරිනන්දට ප්‍රශ්නෙයක් වෙලා තියෙන්නෙ මේක සිරිනන්දගෙ ඉස්සරහ දත වෙච්ච එක. වෙන දතක් නම් ප්‍රශ්නයක් නෑ. මේක මූන බැලුව හැටියෙ පේනව නෙ. කොහොමටත් දැන් සිරිනන්දගෙ දත් තිස් දෙකෙන් බාගයක්ම නෑ. ඉස්සරහ දත ගැලෙව්වට පස්සෙ සිරිනන්ද දත් නැති එහෙකුට වඩා ලොම්බෙක් වෙන එක තමයි අවුල.

“යං කිඤ්චි සමුදය ධම්මං, සබ්බං තං නිරෝධ ධම්මං. යම් කිසි දෙයක් ඇතිවන ස්වභාවයක් දරන්නේ නම්, ඒ සියල්ල නැතිවන ස්වභාවයක් ද දරයි.” බණ පොතේ එහෙම කියල තියෙනවනෙ කියල සිරිනන්දට මතක් උනා.

දැනට සිරිනන්ද ගැන කතා කරල වැඩක් නෑ. මොකද තාම දත ගැලෙව්වෙත් නෑනෙ. එයාට ඕන වෙලා තියෙන්නෙ පුළුවන් නම් දත නොගලව ඉන්න තියෙන හැකියාව ගැන හොයා බලන්න. 

එක එක දත් දොස්තරල කියන්නෙ වෙන වෙන කතාවල්. හොඳ උපදෙසක් ගන්නෙ කොහොමද කියල හිතද්දි සිරිනන්දට එකපාරටම මතක්වුණේ ඉන්දුලතා දුව. ඉන්දුලතා රත්නසේකර දැන් ඔය දන්ත වෛද්‍ය ක්‍ෂේත්‍රයේ ඉහළින් ම ඉන්න විශේෂඥයෙක් නෙව. කලින් ගත්ත එක්ස් කිරණ පින්තූර එක්ක ඉන්දුලතාට ඊ මේල් පණිවුඩයක් යවන්න සිරිනන්ද තීරණය කළා.

*  *  *

සිරිපාල සිරිනන්දගෙ අතිජාත මිත්‍රය. මිනිහ ඉගෙනීමට හරි දස්සයි.

පංතියෙ ළමයි සිරිපාලට ලොම්බ කිව්වෙ කුරිරු කමට නෙවෙයි. ඇත්තම කිව්වොත් ආදරේටත් එක්ක.

මොනවා කිව්වත් සිරිපාල කිසි දෙයක් ගනං ගත්තෙ නෑ. 

අනේ පව් ඉතිං සිරිපාල!

එයාට හුස්ම ගන්න ගමන් විසිල් ගහන්න පුළුවන්, හිනා වෙනකොට ඒක කැඩුණු නළාවක් වගේ දෝංකාර දුන්න.
ඒත් ඔන්න මෑතකදී ඉඳල සිරිපාල වෙනස් විදිය‍කට රඟපාන්න පටන් අරගෙන.

එයා කොණ්ඩේ හරියට පීරන්න පටන් ගත්තා. පන්තිය අතරතුර මාළු රෝල්ස් කෑම නතර කළා. ඒ අතරින් වඩාත්ම කම්පනයට පත්වුන කරුණ වුණේ එයා හිනාවුණේ අඩුවෙන් වීම. 

ඇයි?

සීතා නිසා.

ඇය සාහිත්‍ය රැස්වීම අතරතුර කවි කියවන, සියලුම අත් අකුරු තරඟ ජයග්‍රහණය කරන, කෙසේ හෝ පාසැල් නිල ඇඳුම පවා නිර්මාණකරුවෙක් කල ඇඳුමක්‌ වගේ ලස්සනට ඇඳන් එන ගැහැණු ළමයා. 

සිරිපාලට “දත් නැති එකා” නැතිනම් “ලොම්බා” කියලා නොකියපු පන්තියේ එකම ගැහැණු ළමයා.

දැන් අපේ මේ ලොම්බාට ඇයව විස්මයට පත් කිරීමට අවශ්‍ය වෙලා.

“මචං  සිරිනන්ද,” විවේක කාලය අතරතුර දෙදෙනා වතුර ටැංකිය පිටුපස නොපෙනෙන්න සිටියදී සිරිපාල රහසින් කතා කලා.

“සීතා බුද්ධිමත් පිරිමි ළමයින්ට කැමතියි කියලයි මම හිතන්නේ. මම ෂේක්ස්පියර් උපුටා දැක්වීමට පටන් ගන්නවා.”

“ෂේක්ස්පියර්? උඹ යන්තම් ඉංග්‍රීසි ගොඩ දාගත්ත විතරයි.” සිරිනන්ද කිව්වා.

“මේකට පිස්සු හැදීගෙන එනවද කොහෙද” අනතුරුව ඔහු තමාටම මුමුණ ගත්තා. 

“මම එක පේළියක් කටපාඩම් කළා,” සිරිපාල සිනාසෙමින් කිව්වේ ඔහුගේ හිඩැස ප්‍රදර්ශනය කරමින්.

“මම ඔයාව ගිම්හාන දිනයකට සම කරන්නද කියල මම ඇගෙන් අහනවා.” සිරිපාල කිව්වා.

 “උඹේ කට දැක්කම එයා හිතාවි උඹ අදහස් කළේ බෝග නැති වියළි කාලයක් කියලා.” සිරිනන්දට කියවුණා.

“ඊර්ෂ්‍යා කරන්න එපා.” සිරිපාල හුස්මක් ගත්තේ කමිසයේ කොලරය අතින් හදන ගමන්. 

“බලාපන් උඹගෙ හැටි. උඹ දන්නවද උඹ මටත් වඩා කැතයි. මං නිතරම මගේ මූණ කණ්ණාඩියෙන් බලනවනෙ. උඹේ වගේ මගේ ඉස්සරහ දත් හැලිල නෑ. අනික බලාපං ඒ කෙල්ල කොච්චර හැඩද කියල. කොච්චර හැඩට අඳිනවද කියල. උඹේ වගේ කැත රූපයක් ඒකිගෙ හිතේ ඇඳිල හැමදාම නොමැකී තියෙයි කියල හිතන්න බෑ” එදා සිරිනන්ද සිරිපාලගෙ මූණටම කිව්ව.

“අද, මම ඇයට කතා කරනවා. හරි විදියට.” සිරිපාල දැඩි ලෙස අධිෂ්ඨාන කරගෙන හිටියෙ.

පුස්තකාල වේලාව තුළ සිරිපාල සීතා ළඟට ගියේ පොතක් උඩු යටිකුරු කර තබාගෙන තමා ඉතා බුද්ධිමත් අයෙකු ලෙස හැසිරෙමින්.

“හායි සීතා.” මිනිහ ඕනෑවට වඩා පුළුල් ලෙස සිනාසීමට උත්සාහ නොකරමින් කීවා. නමුත් ඇත්ත වශයෙන්ම... හිඩැස පෙනෙන්නට වුණා.

ඇය ඇසිපිය හෙළුවා. “හායි?”

“මම කල්පනා කරමින් සිටියේ… මම ඔයාව ගිම්හාන දිනයකට සංසන්දනය කළ යුතුද කියා” සිරිපාල කිව්වා.

නිශ්ශබ්දතාවයක් පැතිරී ගියා.

කොහේ දෝ සිට කපුටෙක් කෑ ගහනවා ඇහුණා.

සීතා හිස ඇල කළා. “ඒක නම් මිහිරියි,” ඈ සෙමින් පැවසුවා, “නමුත් ගිම්හාන දවස් උණුසුම් හා දහඩියෙන් පිරී තිබෙනවා. ඇත්තටම මගේ හැඟීම එය නෙවෙයි.”

සිරිපාල පසුතැවිල්ලට හා අපහසුවට පත්වුණා.

“ඒ වගේම,” ඇය මෘදු ලෙස මෙසේද පැවසුවා, “ඔයා  ෂේක්ස්පියර් උපුටා දක්වන්නේ නම්, ඊළඟ වතාවේ මුළු සොනට්* එකම කියවන්න. ඒ වගේම පොත නිවැරදි ආකාරයෙන් ඉහළට අල්ලා ගන්න.”

සිරිනන්ද පොත් රාක්කයට මුවාවී බලා සිටියේ සිනාසීමෙන් වැළකී සිටීමට තොල් සපාගෙන.

පසුව, ජෑම් ගස යටදී, සිරිපාල සුසුමක් හෙළමින් මෙහෙම කියනවා, “මම හිතන්නේ මට වැරදුණා කියල.”

“නෑ. මම කියනවා උඹ ඒක හොඳින් කලා කියල.” සිරිනන්දට සිරිපාල පව් කියල හිතුණා.

“ඇය මගේ කට දිහා බලලා හිනා වුණේ නැහැ. ඒක ලොකු දෙයක්. හොඳයි, නැද්ද?”

“සමහරවිට ඈ උඹේ විශ්වාසයට ගරු කරනවා වෙන්න ඇති”
ඊළඟ දවසේ සීතා එයා එක්ක ටිකක් විතර හිනා වුණා. ඒක සිරිපාලට පාසැලේ ත්‍යාග ප්‍රධානොත්ස්වයෙදි කුසලානයක් දිනුවා වගේ උනා.

මේ සියල්ල සිදුඋනේ කොච්චර කාලයකට ඉහතදීද? දැන් සිරිපාල කොහේ ඇද්ද? එතකොට සීතා? මෙච්චර කලක් සිරිපාල ගැන හාංකවිසියක් නැතුව හිටිය සිරිනන්දට මේ දත හින්ද මෙහෙම හරි සිරිපාල ගැන සිහි කරන්න හැකි වෙච්ච එක ගැන ඇත්තටම සතුටුයි.

“ආහ්... ආව්... ආ...” මේ වෙලාවේ සිරිනන්දට දැනෙන්නෙ තියුණු ඉඳිකටුවක් දතට අනිනවා වගේ, ඒ නිසා ඇති වෙන්නෙ දැඩි වේදනාවක්.

* * *

සිරිනන්ද එයාගෙ ස්මාර්ට් ෆෝන් එක දිග ඇරල ඉන්දුලතා එවපු ඊ මේල් පණිවිඩය කියවන්න පටන් ගත්ත. 

“අනේ අංකල් මේ කුණු ශරීරෙ හැටි ඔහොම තමයි. ඕකට පිලියඞ් කරල වැඩක් නෑ. තව කී දවසකටද? පිස්සු නැතුව ඔන්න ඕක ගලවල දාන්න. හේතූන්ගෙන් සකස්වුන හැම දෙයක්ම අනිත්‍ය වෙලා යන බව ප‍්‍රඥාවෙන් අවබෝධ කර ගන්න. ධම්ම පදෙත් ඕව කියල තියෙනවනෙ.”

“අප්පද බොල මේකි දන්න බණ!....” සිරිනන්ද ඉන්දුලතා කියපු විදියට ඉස්සරහ දත ගලවල දැම්ම. කටේ බොහොමයක් දත් නැති නිසා දැන් උන්දැ නියම ලොම්බෙක්.

* * *

මේ වෙලාවේ සිරිනන්ද මේ ඉන්නෙ දත් දොස්තරගෙ ශල්‍යාගාරයේ විශාල ආලින්දයේ පුටුවකට බරවෙලා එයාගෙ අවස්ථාව එනතුරු. ඒ වගේ තවත් අය තමුන්ගෙ වාරය එනතුරු මෙතන නොඉවසිල්ලෙන් බලං ඉන්නව. 

සිරිනන්ද ඉන්න තැනට අඩි දහයක් දොළහක් ඉදිරියෙන් වාඩිවෙලා ඉන්න වයසක මහත්තයගෙ මොකද්දෝ හුරුගතියක් තියෙනව වගේ සිරිනන්දට දැනෙන්න පටන් අරගෙන. උන්දැ නම් තවම සිරිනන්ද දැක්කෙ නැහැ වගේ.

සිරිනන්ද ස්මාර්ට් ෆෝන් එක දිග ඇරල ඉන්දුලතා එවපු ඊ මේල් පණිවිඩය නැවත කියවන්න පටන් ගත්ත. ඒක කියවන එක සිරිනන්දට ලොකු ධෛර්යයක් ගෙන දෙනවද කොහෙද. 

මේ වෙලාවෙ සිරිනන්දට ඉදිරියෙන් වාඩිවෙලා හිටිය මහත්තය නැගිටලා කෙළින්ම ඔහු ඉන්න දිහාවට එන්න පටන් ගත්ත. සිරිනන්දට ඉබේටම නැගිටුනා.

“මේ සිරිනන්ද නේද?” 

“ඔව්. මේ මහත්තය කවුද?”

“මම සිරිපාල. මතකද මන්ද?”

“දෙයියනේ සිරිපාල! කොහොම අමතක වෙන්නද?” ඔවුන් එකිනෙකා වැළඳ ගත්තෙ මහත් වූ සෙනෙහසින්.

“මං මේ අපේ මායියත් එක්ක එයාගෙ දත්වල වැඩකට ආ ගමන්.”
සිරිනන්ද වට පිට බලද්දි ඈ ඔවුන් හිටි තැනට ආවේ හිනාවීගෙන.

“සීතා… ඔයා?”

“මෙයා සොනට් දහඅට මුළු එකම කියෙව්ව ද සීතා?” සිරිනන්ද ඊළඟට ඇහුවා.

පොල්බෑය වගේ ලස්සනට තියෙන දත් ටික පෙන්නල සිරිපාල හයියෙන් හිනාවුණා. සිරිනන්ද හිනාවුණේ අනිත්‍යය මෙනෙහි කරමින්. ඔවුන් පුළුවන් තරම් කතා බහ කළා. 

“මෙහෙම කතා කරල ඉවර කරන්න බෑ. සිරිනන්ද නොවරදවාම අපේ ගෙදර එන්න ඕන හෙට අනිද්දම,” අන්තිමට සිරිපාල කිව්වා.

“හරි හරි දත් ඇන්ද දාගත්ත හැටියෙ මං අනිවාර්යයෙන් ම ඔයාලගෙ ගෙදර එනව,” සිරිනන්ද කියද්දි, සිරිපාල, සිරිනන්දගෙ ලොඹු කට දිහා බලන් හිටියෙ දුකින් වගේ.

-නිමි-

මෙය සිසිල මාසික සඟරාවේ මැයි කලාපයේ මුල් වරට පළවිය.

* සොනට් යනු පද දාහතරක් සහිත පද්‍ය විශේෂයක් වන අතර, එය සාමාන්‍යයෙන් Iambic Pentameter ලෙස හැඳින්වෙන සඳැස් රටාවකින් යුක්තව ලියවේ. විවිධ සොනට් වර්ග අතරින් ශේක්ස්පියර් (ඉංග්‍රීසි), පෙට්රාක් (ඉතාලි), සහ ස්පෙන්සර් සොනට් වඩාත් ජනප්‍රිය වේ. සොනට් තුළ විශේෂ අනුපූර්ව යෙදුම් රටාවක් පවත්නා අතර, බොහෝ විට ආදරය, කාලය, මරණය, ස්වභාවය වැනි ගැඹුරු මාතෘකා විවරණය කරයි. ශේක්ස්පියර් සොනට් රටාව අනුව එය කවියක් ලෙස පද හතරකින් යුත් කොටස් තුනකික් සහ පද දෙකකින් යුත් අවසන් ජෝඩුවකින් (couplet) සමන්විතය. සොනට් වචන සංයෝජනයේ නිරවද්‍යතාවය හා ග්‍රාහ්‍යතාවය නිසා කවියන් අතර බෙහෙවින් ප්‍රසිද්ධ කාව්‍ය ආකෘතියක් වී ඇත. 

මේ කෙටිකතාවේ සඳහන්වන ශේක්ස්පියර්ගේ Sonnet 18  (“Shall I compare thee to a summer’s day?”) මෙසේය.

Shall I compare thee to a summer’s day?
Thou art more lovely and more temperate:
Rough winds do shake the darling buds of May,
And summer’s lease hath all too short a date;

Sometime too hot the eye of heaven shines,
And often is his gold complexion dimm'd;
And every fair from fair sometime declines,
By chance or nature’s changing course untrimm'd;

But thy eternal summer shall not fade,
Nor lose possession of that fair thou ow’st;
Nor shall death brag thou wander’st in his shade,
When in eternal lines to time thou grow’st:

So long as men can breathe or eyes can see,
So long lives this, and this gives life to thee.



Nissanka Rajapaksa

unread,
May 6, 2025, 12:22:14 AMMay 6
to INDRAKA group

17

ඡායාරූපය හා සිතුවම


මියන්මාර ජාතික ආචාර්ය ටින් ටින් වින් Dr. Tin Tin Win මහත්මියගේ Haunting කෙටි කතාවේ පරිවර්තනය

පරිවර්තනය –
එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ

හිරු බැසයන සන්ධ්‍යාවේ ආලෝකය හොඳින් පැතිරී තිබුණි. දුම්රිය නැවතුම්පළට ළඟාවන විට වේලාව හයට ආසන්න විය. සියල්ලම දමාගත් එකම ගමන් මල්ල හා හකුළාගත් චිත්‍ර ආධාරකයත් රැගෙන වේදිකාවට බැස ගැනීමට චිත්‍ර ශිල්පියාට හැකිවිය. පොරකමින් ඉදිරියට තල්ලුවන මගීන් පිරිස ඉවත්ව යනතුරු මිනිත්තු කිහිපයක් ඔහු බලා සිටියේ ය.

මිතුරු ඡායාරූප ශිල්පියා දුම්රියපළේ ගේට්ටුව අසල රැඳී සිටියේ ය. දෙදෙනාම එකවර දෑත් විදාහලේ මේසා දීර්ඝ කාලයකට පසුව එකිනෙකා මුණගැසීමේ සතුට හේතුවෙනි. ඔවුහු වයස හතළිස් ගණන්වල පසුවූහ. නගරයේ ජීවත් වන චිත්‍ර ශිල්පියා ඔහුට වඩා වයසින් වැඩි වූවෙකි. ගම්බද මිතුරා හට තරුණ පෙනුමක් තිබුණි. උස හා සිහින් සිරුරකින් හෙබි ඔවුන් දෙදෙනාගේම හිසකෙස් අළු පැහැයට හැරෙමින් තිබුණි.

“එන්න…එන්න… කරත්තයක් තියෙනවා…. ගමට යන්න හැතැප්ම දෙකක් දුරයි.”

චිත්‍ර ශිල්පියා සමගින් දුම්රිය ස්ථානයෙන් පිටතට පැමිණෙන අවස්ථාවේ මිතුරා පවසා සිටියේ ය.

“වෙන කවුරුවත් නැහැ… ඒක මගේ… ඒක දක්කන්නේ මගේ පුතා… දැනට ඉල්ල ගත්තා.” සෙවණැලි වැටුණ ෆාම් ගස් වලින් පිරුණු තැනිතලා බිම ඔස්සේ ඔවුහු ගමන් කළහ.

ක්ෂිතිජය කෙළවර අහස දීප්තිමත් තද රතු හා ඊට ඉහළින් නිල් පැහැයක් ගෙන තිබුණි. කරත්තය වේගයෙන් ඉදිරියට ගමන් කරන්නට විය. ආගිය තොරතුරු ගැන කතා කරමින් ඔවුන් දෙදෙනා ගමන් කළෝය. මද වේලාවකින් කරත්තයේ ගමන් වේගය අඩුවිය. එය තද බෑවුමක් නොවූවද කරත්තය සෙමෙන් සෙමෙන් කන්ද නැග්ගේය. කන්ද මුඳුනට පැමිණි පසු නිම්නයේ වූ නිවාස තුළින් කණාමැදිරියන්ගේ මෙන් ආලෝකය විහිදුවන ගමක් ඔහුට දැකගත හැකි වූයේ ය.

කන්දේ අනෙක් පසින් බැස ඒ ගම්මානය පසුකර ගිය ඔවුහු තවත් කන්දක් නැග්ගහ. හුදෙකලා වූ නිවස පිහිටා තිබුණේ විශාල උද්‍යානයක ඉහළ ප්‍රදේශයේය. ඉටිපහන් මගින් ආලෝකමත් වූ එය පැරණි දැවමය දෙමහල් නිවසකි. කඳු මුදුනේ සිට ගලායන කුඩා දිය පහරක හඬ චිත්‍ර ශිල්පියාට ඇසුණි. සමීපව සිටවූ පතොක් ගස් වලින් සැදුන මායිම් වැටෙහි ගේට්ටුවක් නොතිබුණි. ගේට්ටුවක් නොමැතිකම චිත්‍ර ශිල්පියාගේ සතුටට හේතු වුණි.

“ඔයාගේ ගෙදර හිච්කොක්ගේ චිත්‍රපටයක තියෙන එකක් වගේ නේද? ” චිත්‍ර ශිල්පියා විහිළු කළේය.

ඔව්, වෙන්න පුළුවන්… ඔහුගේ මිතුරා පිළිතුරු දුන්නේ ය.

“පස්සෙ මං ගෙදර ඉතිහාසය ගැන ඔයාට කියන්නම් … ඔයා පුදුමවෙයි. ඔයාටත් ඒකට දායක වෙන්න පුළුවන්.”

බිත්ති අඳුරු බොරතෙල් පැහැයෙන් යුතු විය. නිවසට ඇතුළු වූ සැණින් ඔහුගේ අවධානය යොමු වූයේ විශාල ඡායාරූපයක් වෙතට ය. එය කළු හා සුදු වර්ණවලින් යුතු වූ කාන්තාවකගේ පින්තූරයකි. එඩිතර පෙනුමකින් යුතු ඇයගේ තියුණු දෑස අභියෝග කරන අයුරින් ඔහු දෙස බලා සිටින සෙයකි. උඩඟු හා විමසිලිමත් පෙනුමක් එම මුහුණෙන් දැකගත හැකි විය. මෘදු කෙටි කෙස් රොදක් ඇයගේ පුළුල් නළල මතට වැටී තිබූ අතර සිහින් ඇහිබැමි ප්‍රශ්නාර්ථයක් පළ කළේ ය. එහි දීප්තිමත් දෑස … තම ආත්මය විනිවිද යන ආකාරයක් ඔහුට හැඟෙන්නට විය.

“මොනතරම් ලස්සන ෆොටෝ එකක්ද?” චිත්‍ර ශිල්පියා පැවසූ විට, ඔහුගේ මිතුරා සිනාසුණේ ය.

මිතුරා තම බිරිඳ සහ පුතුන් දෙදෙනා ඔහුට හඳුන්වාදෙන අතර චිත්‍ර ශිල්පියා නැවතත් ඡායාරූපය දෙස බැලීය. ඒ රුව මිතුරාගේ බිරිඳගේ රුවට වඩා තරුණ පෙනුමක් ඇතැයි ඔහුට සිතුණි. රාමුවේ දාර කහ පැහැයට හැරී තිබුණි. එය වසර ගණනක් පැරණි ඡායාරූපයක් බව ඉන් හැඟවුණි. යෞවනත්වය ඉක්මවූ බවක් එහි දකින්නට නොතිබුණි. එහෙත් බිරිඳගේ දෑස් මෘදු නිහතමානී බවක් පෙන්නුම් කළේය. ඒ ඡායාරූපයේ ඇස්වල තියුණු පෙනුමක් නැත්තේ ඇයි? මිනිස්සු වෙනස් වෙනවා… ඇය තාමත් ලස්සනයි, ඔහු සිතුවේ ය. නමුත් මුහුකුරා ගිය බවක් ඡායාරූපයෙන් දක්නට නොලැබුණි.

“ඔයා කැමති තාක් කල් මෙහෙ ඉන්න. ” ඔහුගේ මිතුරා පවසා සිටියේය.

“පින්තාරු කරන්න හොඳ දර්ශන … අර එහා පැත්තෙ… කඳු බෑවුම අවට තියෙනවා.” මිතුරා පැවසීමත් සමගින් ඔහුගේ සිතුවිල්ල බිඳී ගියේය.

“මං මේ ගෙදර දර්ශනයක් අඳින්නත් කැමතියි.” මිතුරා සිනාසෙමින් එයට අකමැත්ත පළ කළේය. එසැණින් චිත්‍ර ශිල්පියා හිස සැලීය.

රාත්‍රී ආහාරය ගැනීමෙන් අනතුරුව බරාදයට පැමිණි ඔවුහු එකිනෙකාට මුහුණලා වාඩි ගත්හ. රෑ බෝවන තුරු දෙදෙනා කතාබහ කළේ සිතුවම් හා ඡායාරූප කලාව ගැන ය.

“අවුරුදු විස්සකට කලින් මං දැනගෙන හිටියා… ඔයා මේ ගෙදර චිත්‍රයකට අඳින්න කැමති වෙන බව.”

චිත්‍ර ශිල්පියා පුදුමයෙන් තම මිතුරා දෙස බැලීය.

“ඒත්… ඔයා කිව්වේ… ඔයා මෙහෙට ආවේ කසාද බැන්දට පස්සේ කියලා… තාම අවුරුදු විස්සක් ගතවෙලා නෑ… නේද? ”

මිතුරා සිනාසෙමින් ඔහුට ළංවිය.

“අහන්න… මට ඔයාට කියන්න දේවල්… තියෙනවා. ඒත් මෙතන බැහැ පස්සෙ…..”

පසුදින සවස් යාමයේ ඔවුන් දෙදෙනා නිවස පසුකර කුඩා මංතීරුවකට ඇවිද ගොස් තණබිමක් වෙත ගමන් කළහ. එතැන සිට නිවසේ එක් පැත්තක් ඔවුනට දැකගත හැකිවිය. ප්‍රධාන නිදන කාමරය මෙන් පෙනෙන කවුළුවක් විවෘතව පැවතුණි. එහි පැරණි ආරුක්කු හැඩැති කවුළුවක් වූ අතර ලැටිස් සවිකර තිබුණි. ඡායාරූපයේ තමා දුටුවේ එම කවුළුවම බව එකෙනෙහිම චිත්‍ර ශිල්පියාහට වැටහුණි.

“ඔයාගෙ නෝනගේ ඇස්”… චිත්‍ර ශිල්පියා මිතුරා දෙසට හැරී පැවසුවේ, ඡායාරූපයෙහි ඒවා ඉතා දීප්තිමත් බවයි.

“ඒ මගේ නෝනා නෙවෙයි.” මිතුරා කළේ විහිළුවක් නොවන බව ඔහු තේරුම් ගත්තේ ය.

“ඔයාට කියන්න දෙයක් තියෙනවා… මට කළින් ලිපියකින්වත් දන්වන්න බැරිවුණා…. ඒ ෆොටෝ එක, මම ආදරය කළ පළමු කාන්තාවගේ කියලා කියන්න පුළුවනි. එයා මගේ නෝනා කියලා ඔයා හිතුව එක පුදුමයක් නෙවෙයි. ඒ මගේ නෝනගේ අම්මා.”

“ඔහ් …. මොනවා…. ?”

“ඔව්, ඒ මගේ නැන්දම්මා. නමුත් ඒ වෙද්දි එයා මගේ නැන්දම්මා නෙවෙයි… ”

තවදුරටත් පවසන්නට යමක් ඔහුට තිබුණි. ඔවුහු ඉදිරියට ඇවිද ගියහ.

“ඔයා දන්නවනේ…. මං ජීවත් වුණේ මෙහෙ ඉඳලා හැතැප්ම පහළොවක් විතර ඈතක. ඉඳහිට මේ ගමට ආවේ උත්සවයක ෆොටෝ ගන්න විතරයි. දවසක් සහතික බෙදා දෙන උත්සවයක ෆොටෝ ගන්න අවස්ථාවක් ලැබුණා. උත්සවය දවස් දෙකක් නිසා මං රාත්‍රියේ නවාතැන් ඉල්ල ගත්තා. මුල දවසේ හවස්වරුව මට ටිකක් විවේක තිබුණ නිසා මගේ කැමරාවයි, ට්‍රයිපොඩ් එකයි අරං මං ඇවිදින්න ගියා. අන්න අර දොළපාර ළඟට…” මඳ සුළඟේ සැලෙන උණ පඳුරකට ඈතින් පිහිටි අවකාශයක් ඔහු පෙන්වා සිටියේ ය. “මං ඒ ළඟට ගියා…. මේ ගේ දැක්කා ..ඔයාට දෙන්න හොඳ ෆොටෝ ටිකක් ගන්න මට හිතුණා.”

“මගේ චිත්‍ර ගැන ඔයාට තාම මතකයි වගේ… ” චිත්‍ර ශිල්පියා ඔවුන්ගේ අතීතය ආවර්ජනය කළේ ය.

ඔහු වටපිට බලමින් හොඳම දර්ශන කෝණය සොයාබලා පසුව හිටිතැනම ඔහුගේ කැමරාව ඇටවීමට තීරණය කර ඇත.

“මං කැමරා කාචයෙ කවරේ ඇරලා බලන්න ලෑස්ති වුණා. එවෙලේම ජනේල කවුළුව ඇරුණා. මං දැකලා තියෙන ලස්සනම මුහුණ මට පෙනුණා… හරියටම හීනයක් වගෙයි.”

“ෆොටෝ ගන්න බැරි වුණාද? ” චිත්‍ර ශිල්පියා කුතුහලයෙන් විමසා සිටියේ ය.

“ජනේල රාමුවට එයාගේ ඇඟේ උඩ කොටස ගැළපුණා. පිටත බලා ඉන්න දීප්තිමත් ඇස්. මං ඒ බැල්මට අහුවුණා. කැමරාවේ බොත්තම කීසැරයක් එබුවද කියලා මට මතක නැහැ. මං දිගටම ෆොටෝ ගත්තා. එයාගේ නිකට යට පොඩි උපන් ලපයක් තිබුණා. තොල් කෙළවරේ තවත් එකක්. මට කිසිදාක අමතක වෙන්නේ නැහැ. එකපාරටම හදිසියේම එයා අතුරුදන් වුණා. මං ඒ පැත්ත බලාගෙනම හිටියා. දිගටම බලාගෙන හිටියා. දිගටම ලෙන්ස් එකෙන් බලාගෙන, එයා නැවත පෙනී හිටිනකල් බලාහිටියා. ඒත් එයා ආපහු එතැනට ආවෙ නැහැ.”

“කණගාටුදායක අවස්ථාවක්….? ” චිත්‍ර ශිල්පියා පවසා සිටියේ ය.

“ නවාතැනට යනකල් ම මගේ හදවත වේගයෙන් ගැහුණා. මට නිදාගන්න බැරිවුණා. මං එයාව ආයිත් දැකගන්න හුඟාක් ආසාවෙන් හිටියේ. ඊළඟ දවසේ මගේ වැඩ කටයුතු අස්සේ මරණයක් ගැන මට අහන්න ලැබුණා. ඇළ ළඟ විශාල දැව ගෙදර කෙනෙක් කළින් දවසෙ හවස මැරුණ බව. මට එකපාරට ම මහා කම්පනයක් දැනුණා… දෙවියනේ, ඒ එයා නම්… මම බලාපොරොත්තු රහිතව ඇහුවා. කවුද?… ඒ කවුද? …කියලා. එයාලා කීවේ වයසක මිනිහා බවයි. ඔයා අදහස් කළේ එයාගේ තාත්තා ගැනද?” මම ඇහුවා.

එයාලා කිව්වා මම දැනටමත් ලස්සන දුවව දැකලා ඇති, හරිම වැඩකාරයෙක් නේද? කියලා. මට සතුටක් දැනුණා. ඔයා දන්නවනේ… ඒ ගෙදර හිටිය අයට ඡායාරූප ශිල්පියෙකු අවශ්‍යයි කියලා පණිවිඩයක් එව්වා. සත්තකින්ම… ඒ කාලෙ සාමාන්‍යයෙන් අවමංගල්‍ය අවස්ථාවකදී ෆොටෝ ගත්තෙ නැහැ. ඒත් මං ඒ ඉල්ලීම පිළිගත්තා… මට එයාව ආයෙමත් දැකගන්න පුළුවන් නිසා.

අවමංගල්‍ය කටයුතුවලට දවස් දෙකක් තිබුණා. ඒ නිසා මං ගෙදර ගිහින් ආපහු ආවා. හිතන්න, ඒ ලොකු ගෙදරට යද්දි මගේ හදවතේ ගැස්ම කොච්චර ද කියලා! ගෙදර ඉස්සරහ තියෙන තාවකාලික ශාලාවක දේහය තියලා තියෙනවා මං දැක්කා. එතැන සෑහෙන පිරිසක් හිටියා. එයාලගෙන් සමහරෙක් එයා මැරුණු විදිහ ගැන මට කීවා. මාස ගණනාවක් තිස්සේ ඔත්පළව ඇඳේ වැතිර හිටි වයසක මිනිහා මෙහෙම හදිසියේ මැරුණ එක ගැන හැමෝම පුදුමවෙලා හිටියේ.

නමුත් මම ඒ ගැන උනන්දු වුණේ නැහැ. මට වුවමනා කළේ දුව ආපහු දැකගන්නයි. එක මිනිහෙක් මට කෙනෙක්ව පෙන්නුවා. ඒ මැරුණු කෙනාගේ එකම දුව බව ඔහු කිව්වා. ඒක ඇත්ත වෙන්න බැහැ. එයාගෙ වයස අවුරුදු පහළොවකට වැඩිය නැහැ. ඔව්, ඇත්තටම ලස්සනයි. මං කලින් දවසක දැක්ක මුහුණට සමානයි. නමුත් නැහැ, ඒ එකම කෙනා නොවෙන්න ඇති. මා දැක්ක හැටියට ගැහැනු ළමයාට තිබුණේ ඉතා සරල අහිංසක ඇස්. මට යාන්තමට මතකයක් තිබුණා. නමුත් වෙනස මං දැනගෙන සිටියා.

මේ අතර මගේ සේවය අවශ්‍යයි කිව්ව පුද්ගලයා මට මුණගැහුණා. මට පිස්සු වැටෙයි කියලා හිතුණා. ඒ එයයි. එයා වයසක මිනිහගේ බිරියයි. මම දුර ඉඳන් එයාගේ මුහුණ දිහා බැලුවා. මොනතරම් සුන්දරද? මොනතරම් ලස්සනද? මම හිතුවේ එයා විසි ගණන්වල ඉන්න බවයි. නමුත් නැහැ. එයා ළඟට ගිය වෙලාවේ මට තේරුණා එයාට තිස් ගණනක් ඇති කියලා. මම එයාට ආදරේ කළා එයාගේ කටහඬ… මම හිතපු විදිහටම එය ගොරෝසු, පහත් හඬක්. නමුත් එයා ගැන මට අහන්න ලැබුණු ඕපාදූප මාව අපහසුතාවයට පත් කළා. වයසක මිනිහා අසනීප වුණාම එයා තමන්ගෙ පෙම්වතා එක්ක ගෙදරින් ගිහින් අවුරුදු දෙකකට වැඩි කාලෙකට පස්සෙ එයාගේ මරණය දැනගෙන අද උදේ ආපහු ඇවිත් තියෙන්නෙ.

දැන් ඒ කාන්තාව විශාල බූදලයක හිමිකාරිනියක් බවට පත්වෙලා. එයාගේ පෙම්වතා මොනතරම් වාසනාවන්තද! මේක වෙන්නෙ කොහොමද? ඒ සුන්දර මුහුණේ… තේජාන්විත ඇස් දෙක ඇතුළේ ආදරණීය කැඳවීමක් තිබුණා. ඒ වගේම එඩිතර හා රැවටිලිකාර බවකුත් දැක්කා. නමුත් කෲර බවක් නැහැ. මට ඒක විශ්වාස කරන්න බැරිවුණා. අවමංගල්‍ය උත්සවයේ ෆොටෝ ගන්න අතරේ මං රහසින් එයාගේ මුහුණට කැමරාව එල්ල කළා. එයාගේ ඇස්වල කඳුළු බිංදුවක්වත් මං දැක්කේ නැහැ. මට ඒ ගැන කලකිරීමක් ඇති වුණා. ඒ වෙලාවේ එයාගෙ දුව අඬමින් හිටියේ. දුවගේ හිත හදන්න එයා උත්සාහ කළෙත් නැහැ. එයාට වැඩ ගොඩක් කරන්න තියෙන බවක් පෙන්නුවා.

පෙම්වතා හිටියේ නැහැ. ඒ වගේ අවස්ථාවකට ඒ මිනිහා එයිද?

අවමංගල්‍යයෙන් පස්සේ මට ගෙදර යන්නට ලැබුණත් මම නතරවෙලා හිටියා. මිනිස්සු සතියක කාලයක් අවමංගල්‍ය ගෙදර දොර ජනේල ඇරගෙන ඉන්න අතරේ, කාඩ් සෙල්ලම් කරමින් කාලය ගත කළා. මම කාඩ් සෙල්ලම් කරන්න දන්නේ නැති නිසා බලාගෙන හිටියා. එයා ගමේ පිරිමින් සමග කාඩ් සෙල්ලම් කළා. මම එයා ළඟ වාඩි වුණා. එයා හිස හරවා ඇස් ඔසවලා මා දිහා බලන හැම වෙලාවකම එයා දැනගෙන හිටියා මම එයාට ආදරය කරන බව. එයා මාව දැලේ දාගත්ත බවත් එයා දැනගත්තා.

එයා ගොඩක් දුම්පානය කළා. මම කළේ නැහැ. නමුත් එයා සිගරට් පත්තු කරන හැම වෙලාවෙම මගේ දෑතින් හුළං මුවාකළා. මම සතුටින් ඉපිලුනා. මම ඇසක් ඉඟිමරන කොට එයා යාන්තමින් හිනාවුණා. ඒ අවස්ථාවන් කාටවත් නොපෙනෙන්න මම පරිස්සම් වුණා. අවුරුදු දහඅටක කොල්ලෙක් අවුරුදු තිහක ගැහැනියක් එක්ක ආදරයෙන් බැඳෙන එක ඒතරම් අමුතු දෙයක් නෙවෙයි.”

ඔහුගේ කතාව නොනැවතුණි.

“ඒක කී දවසක් තිබුණ ද කියන එකත් පුදුමයක්. මං තවමත් එයාට ආදරෙයි.” ඔහු පැවසුවේ ය.

නමුත් ඇය මේ වන විට තරමක් වයස්ගත විය යුතු බව ඔහුගේ මිතුරා පැවසීය. ඡායාරූප ශිල්පියා ඔහු දෙසට හැරුණේය.

“නැහැ… නැහැ… එයා කවදාවත් වයසට යන්නෙ නෑ. එයාට වයස තිහකට වැඩි නැහැ.”

ඔහු මඳ සිනාවක් පෑවේ ය.

“ඔයාට එයත් එක්ක ඉන්න ලැබුණද?” අනෙකා අසා සිටියේ ය.

හතළිස් හැවිරිදි දෙදරු පියෙකු වන තම මිතුරාගේ මුහුණ ලජ්ජාවෙන් රතුවී යන ආකාරය දැක ඔහු පුදුමයට පත්විය. ඔහු ලජ්ජාවෙන් සිනාසී නිවස දෙස මහත් ඕනෑකමින් බලා සිටියේ ය. ඔහු අවසාන වරට පවසා සිටියේ අවමංගල්‍යයෙන් සතියකට පමණ පසු ඇයට ඡායාරූප ලබාදීමට ගිය බවයි.

“මං රහසිගතව ගත් ඒවා හැර අවමංගල්‍ය උත්සවයේදී ගත් ඔක්කොම එයාට දුන්නා. ෆොටෝ දිහා බලලා, මට සල්ලි දෙන ගමන් එයා ඇහුවේ ඉතිරි ඒවා කොහේද කියලා? අවමංගල්‍ය උත්සවයේදී එයාව තනිවම ෆොටෝ ගත්බව එයා දැනගෙන හිටියා. ඒවට කීයක් ඕනෑද, කියලා මගෙන් ඇහුවා.

මම හිනා වෙලා, මම ඒවා ඔයාට දෙන්නම්… ඔයා මගේ ස්ටුඩියෝ එකට එනවද, නැත්නම් මං ඒවා ගෙනෙන්නද? කියලා ඇහුවා. ඒවා කාටවත් පෙන්වන්න මට අවශ්‍ය නැහැ. ඒ වගේම, මම කිව්වා මගේ ළඟ කලින් ගත් එකක් තියෙන බව. ඒ වෙලාවේ එයා පුදුම වුණා.

මම එයාට කිව්වේ, එයාගෙ මහත්තයා මැරුණ දා හවස් වරුවේ මම එයාව ජනේලයකින් දැක්ක බව. මගේ ළඟ එයාගේ ෆොටෝ කිහිපයක් තියෙන බවත් කිව්වා. එයා බයවෙලා වගේ මා දිහා බැලුවා. ඒවා කාටහරි පෙන්නුවද කියලා එයා දැඩි විදිහට ඕනෑකමින් ඇහුවා. මම නැහැ කිව්වා… සත්තකින්ම නැහැ. එයා සැහැල්ලුවෙන් හුස්මක් පිටකළ බවක් මට දැනුණා.

දවස් දෙකකට පස්සේ එයා මගේ ස්ටුඩියෝ එකට ඇවිත් ෆොටෝ සහ නෙගටිව් පටි ඉල්ලුවා. මම හොඳම එක තියාගෙන ඉතිරි සියල්ලම මෙච්චරයි කියලා එයාට දුන්නා. එයා ඒවා මගේ ඇස් ඉස්සරහ පිටදීම පිච්චුවා. එදා ඉඳලා එයා මට යාළුවෙකුට වගේ සැලකුවා.

මම එයාව බලන්න ගියා. ඒත් එයා ගෙදර හිටියේ කලාතුරකින්. සාමාන්‍යයෙන් ගෙදර හිටියේ දුවයි එයාගෙ වයසක නැන්දයි විතරයි. මම එයාව දැක්ක දවසක එයා එක්ක පිරිමියෙක් හිටියා. ඒ එයාගේ යාළුවා බවයි කිව්වේ. නමුත් මම දැනගෙන හිටියා තරමක කපටි පෙනුමක් තිබුණු ඒ මිනිහා කවුද කියලා. මට ආරංචි වුණා වයසක මහත්තයා ගොඩක් දේවල් ඉතුරු කරලා ගිය බව. ඒත් එයා ඒ ඔක්කොම වියදම් කරලා. ගෙදර උකස් කරන්නත් සිද්ධ වෙලා. සල්ලි හොයාගන්න වුවමනා නිසා එහෙම කළ බව එයා මට පස්සෙ කිව්වෙ, සල්ලි හොයාගෙන ගේ බේරලා දෙන්න පුළුවන්නම් මාව භාරගන්නවා කියලා ඉඟි කරනවා වගේ.

ඉතින්, මම ටික කාලයක් මගේ කැමරා රස්සාව අතහැර දාලා, ව්‍යාපාරික කටයුතුවලට යොමු වුණා. ඒ අවට ගොවිපළවලින් නිෂ්පාදන මිලදී ගෙන නැවත අලෙවි කරන්න පටන් ගත්තා. හොඳයි, කාලය එහෙමම ගෙවිලා ගියා. මං හොඳ තත්ත්වයකට ආවා. තවමත් එයා ඒ මිනිහා එක්ක ඉන්නවා.

ඉන් පස්සෙ මං තියාගත්ත නෙගටිව් එක ලොකු කරලා මුද්‍රණය කළා. ඒක තමයි ඔයා දැක්කෙ. අපැහැදිලි විදිහට එයාට පිටුපසින් තියෙන ඔරලෝසුවේ පහයි දහය පෙන්වනවා. වයසක මිනිහා මැරුණෙ හවස පහට විතර බවයි දොස්තර කියලා තිබුණේ. ඒ වෙලාවේ ගෙදර කවුරුත් නොහිටි බව නැන්දා කියලා තිබුණා. නමුත් ඒ වෙද්දි එයා එතැන ඉඳලා තියෙනවා. ඒක මට වැදගත් නැහැ.

නමුත් වැඩි කාලයක් යන්න කලින් එයත් මැරිලා. අහම්බයක් වගේ, ඒක වෙලා තියෙන්නෙත් හවස පහට විතර. මරණයට හේතුව ඔයා දන්නවාද? ගබ්සාවක්.

හොඳයි, ඔයාට ඉතිරි කොටස අනුමාන කරන්න පුළුවන් නෙ. මට ගේ බේරගන්න පුළුවන් වුණා. එදා අඬමින් හිටිය කෙල්ල, මා දිහා බැලුවේ පවුලෙ හිතවත් මිත්‍රයෙක් විදිහටයි. මං එයාව කසාද බැන්දා. ඇත්තටම එදා ඉඳන් මම මේ ගෙදර ජීවත් වෙන බව ඔයා දන්නවා. එයාත් අප ළඟ ඉන්න බව මට දැනෙනවා. එයා මෙහෙ ඉන්නවා. හුඟක් වෙලාවට මං එයාව හීනෙන් දකිනවා. එයා මාව බලන්න එන ක්‍රමය ඒ කියලා මට හිතෙනවා.”

ඔහු දිගටම පවසාගෙන ගියේය.

“මට විශ්වාසයි එයා දැනගෙන හිටියා මම එයාගෙ දුවව කසාද බඳිනවා කියලා. මම දන්නවා එයා ඒ ගැන සතුටු ඇති කියලා.” ඔහු කනස්සල්ලෙන් මෙන් තව දුරටත් කතාවට එකතු කළේය.

“ඉතින්, එයා කවමදාකවත් අවුරුදු තිහකට වඩා වයසට යන්නේ නැහැ. එහෙම නේද? ”

https://divaina.lk/%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B6%BA-%E0%B7%84%E0%B7%8F-%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%B8/

Nissanka Rajapaksa

unread,
May 6, 2025, 8:34:26 PMMay 6
to INDRAKA group
18

සැඳෑ සෙවණ


- වරුණි අම­ර­සිංහ

මං සුදු හාමිනේ තනි කරන්නෙ නෑ. දැන් නාඬා නිඳාගන්න.”

“ඉස්කෝලෙ මහත්තයා, ඉස්කෝලෙ මහත්තයට මං නැතිව පාළුවක් දැනෙයි නේද?”

‘සැඳෑ සෙවණ’ වැඩිහිටි නිවාසයේ ගිලන් කාමරය තුළින් පුංචි ඉකිබිඳුමක් ඇහුණෙ. වේදනාත්මක කෙඳිරිලි හඬක් එක්ක ඇසුණ මේ ස්වරය කාගෙ කාගෙත් හද කම්පා කරවන්නට සමත් වුණා.

වැඩිහිටි නිවාසය ආරම්භ කරලා දැන් වසර දහයකටත් වැඩියි. සාම්ප්‍රදායික වැඩිහිටි නිවාස සංකල්පයට තරමක් දුරස් වෙන්නට, මේ පරිසරය ගොඩනැඟී තිබුණෙ. ජීවිතයේ සැඳෑ සමය ගෙවා ගැනීම අසීරු වුණ මෙතැනට එන බොහොමයක් දෙනා මෙතැනදි තම අවසන් සුසුම් පොද බොහොම සැනසිල්ලෙ හෙළන පරිසරයක් දක්නට ලැබුණෙ.

ජීවිතයේ ජවසම්පන්න කාලයේදී සිය කාලය, ශ්‍රමය නොමසුරුව මුදාහරින්න හැකි වුණත්, නර කෙසක් නැඟීගෙන එද්දි, ඇඟපත අවසඟව යද්දි, මොන තරම් බලසම්පන්න චරිතයක් වුණත් අසරණ වෙන්නෙ ලෝක දහමට නතුව. කාගෙ හරි සහයෝගයක් වුවමනා වන හැමෝගෙම ආදරය, කරුණාව ඇවැසි වන කාලයක් වුණත්, මේ හැම දෙයක්ම ජීවිතෙන් පලා යන්නෙත් මේ කාලයෙදිමයි. ඒත් එක්කම ජීවිතය අසරණ වෙන්නෙ හැඟීම්වලින්ම ඔත්පළ වෙලා.

රණසිංහ ඉස්කෝලෙ මහත්තයා මේ නිවහනට ආවෙත් සිය වයෝවෘද්ධ ජීවිත කාලය සැනැසිල්ලෙ ගෙවාදැමීමට. තිස් වසරක සිය වෘත්තීය ජීවිතය හමාර වෙද්දි රණසිංහ ඉස්කෝලෙ මහත්තයත් ගතින් වගේම හිතෙනුත් බොහොම දුර්වල වෙලා හිටියෙ. තමන්ගේම සවිශක්තියෙන් උපයපු හැම දෙයක්ම දරුවන් අතරෙ බෙදිල යද්දි ඔහුට ජීවිතයේ සන්තකවම උරුම වුණ එකම වත්කම වුණේ මාසික විශ්‍රාම වැටුප පමණයි. ලොකු පුතා, දුව විවාහ වෙලා ගෙදරින් බැහැරට යද්දි, පුංචි පුතා ලේලියක් නිවෙසට කැන්දාගෙන එද්දි, ගුරු ජීවිතය තුළ අත්වින්ද ගරු නම්බුනාම බොහොම හෑල්ලුවට ලක් වෙමින් තිබුණෙ හිරු දුටු පිනි වගෙයි.

තමන් එක්ක එකට ඉගෙන ගත්තු සුජාතා තමන්ගෙ බිරිය විදිහට ජීවිතයට ළං කරගත්තෙ ඇයගේ පාර්ශ්වයේ ප්‍රබල විරෝධතා මැද. ඉහළ වලවු පෙළැන්තියක නම්බුකාර ජීවිතය තුළ අත්වින්ද සැප පහසුකම් ඇයට ළං කර දෙන්නට රණසිංහ ඉස්කෝලෙ මහත්තයගෙ සොච්චම් පඩියට හැකියාවක් තිබුණෙ නැහැ.

සුදු හාමිනේගේ බොඳ වුණු කඳුළු අතරින් ඉස්කෝලෙ මහත්තයාගේ හිත අතීතයේ අහුමුලු පුරා ඇවිදගෙන ගියා.

“මගේ ඕනෑ එපාකම් බලන්න බැරි හිඟන පඩියක් නම් තියෙන්නෙ මොකටද මාව කසාද බැඳගත්තෙ… ළමයි තුන්දෙනා තමුසෙ භාර ගන්නවා. අපේ අයියලා මගේ ජීවිතේ භාර ගනීවි.”

සාරි හැට්ටයක රේන්ද පටියක වියදම ගැන කතා කරද්දි සුජාතා එය මහමෙරකට ගනන් ගෙන නිවෙසින් බැහැරට ගියේ කොයි තරම් ආත්මාර්ථකාමී විදිහට ද කියල ඉස්කෝලෙ මහත්තයට හිතන්න වුවමනා වුණේ නැහැ. ඒ වෙද්දි ලොකු පුතා වයස අවුරුදු දොළහ පහු කළා විතරයි.

අද වුණත් අහස ගුගුරා වැහි ඇදවැටෙන අඳුරු හැන්දෑවකට ඒ මූසල අතීත සිදුවීම ඉස්කෝලෙ මහත්තයගෙ හිතට හීන් වේදනාවක් නොගෙනාව නෙවෙයි.

“සුදු හාමිනේ තව කැඳ උගුරක් බොන්න.”

ඉස්කෝලෙ මහත්තයා පුංචි ටීපෝ මේසය උඩ වසා තිබුණ කැඳ කෝප්පයෙන් හැන්දක් පුරවලා ඇයගේ මුවට ළං කළා. හරියට කුරුළු පැටියෙක් වගේ ඇයගේ මුව විවර වුණේ.

අග හිඟකම් පිරිල තිබුණත් දරු තුන්දෙනාට දුකක් නොදී රැකබලා ගන්න ඉස්කෝලෙ මහත්තයට පුළුවන් වුණා. සුජාතාගේම විදිහට දියණියට රුව ගුණ අපූරුවට පිහිටලා තිබුණා. පුත්තු දෙන්නා ඉගෙනගන්නම හපන්නු වුණේ එක විදිහට. කවදාවත් අම්මා නැති අඩුවක් දරුවන් තුන්දෙනාට දැනෙන්න ඉස්කෝලෙ මහත්තයා ඉඩ තිබ්බෙ නැහැ.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉස්කෝලෙ මහත්තයා දරු පරපුරකටම, පරම්පරා කිහිපයකටම ජීවය දුන්නු ගුරුවරයෙක් වුණා. නිවැරදි දිශාවට ජීවිතය ගෙනියන්න ඔහුට හැකි වුණේ ඒ නිසා. තාරුණ්‍යයට දැනෙන, හැඟෙන දඩබ්බර, විනෝදකාමි සිතිවිලි දිගේ දුවන් යන සිතක් ඔහුට තිබුණෙ නැහැ.

පොඩි පුතා ලේලිය කැන්දාගෙන එද්දි ඉස්කෝලෙ මහත්තයා කල්පනා කළේ ආයිමත් මේ ගෙදර සතුටින් පිරෙයි කියලා. විශ්‍රාම ජීවිතය කොයි තරම් කටුකද කියල ඔහුට දැනෙන්න වුණේ තමන්ගෙ ගෙදර පරිසරය තුළදීමය.

අතපය වලංගු නැතිව, ඇහේ පෙනීම අඩුකමට ඉඳුල් ටිකක් බිම වැටුණත්, වතුර ටිකක් ඉහිරුණත් එය විශාල වරදක් විදිහටයි තරුණ ලේලියට පෙනුණෙ.

“වයසට ගියා කියල ඔහොම අපිළිවෙළට වැඩ කරන්න ඕනිද? අම්මා වුණත් මේ ගෙදර දාල යන්න ඇත්තෙ ඔය කරදර නිසා තමයි. මේ ගෙදර ඉඳල මගේ ළමයවත් මට පිළිවෙළට හදාගන්න බැහැ.”

මේ වගේ දරුණු වාග් ප්‍රහාර දවසින් දවස ඉහළ ගියා මිසක් අඩු වුණේ නැහැ. එක දවසක් නැඟෙනහිර අහසින් ඉර ලෝකය දිහා බලද්දිම වගේ ඉස්කෝලෙ මහත්තයා ගෙදර පරිසරය අත්ඇරලම ආවෙ හරිම සැහැල්ලු සිතින්. ඒ ගමන නැවතුණේ ‘සැඳෑ සෙවණ’ ගේට්ටුව අසල.

ප්‍රධාන පාරෙන් අතුරු පාර දිගේ එද්දි ඈතටම පෙනුණෙ විශාල බුදු පිළිමය. ළා රෝස පාට තීන්තෙන් ආලේප කරල තිබුණ වැඩිහිටි නිවාසයේ බිත්ති හරියට හිනා වෙලා ‘ආයුබෝවන්’ කියනවා වගෙයි ඉස්කෝලෙ මහත්තයට දැනුණෙ. උපැස් යුවළ තව ටිකක් පිහදමල ඉස්කෝලෙ මහත්තයා බෝඩ් ලෑලි කියෙවුවා.

“මෙතුවක් නොලද සැනැසුම

මෙතැනදී හමු වේවා!”

ඇත්ත නේන්නම්. ගෙදර පරිසරය, දරු පවුල් එක්ක ගෙවන ජීවිතය සැනැසීමක් වුණ කිසිම කෙනෙක් මේ වගේ තැනකට එන්නේ නැහැනෙ.

“සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා! හැමදාම මුමුනන වචන පේළිය වුණත් නිදහස් හිතින් කියවගෙන යද්දි තමයි අර්ථවත්ව වැටහුණේ.

වැඩිහිටි නිවාසය කොටස් කිහිපකයට වෙන් කරල තිබුණා. කාන්තාවන්ට, පිරිමින්ට වෙන් වෙන් වශයෙන් ශාලා සකස් වෙලා තිබුණා. ඇඳන් පේළි හරියට රෝහලක වාට්ටුවක් වගේ. ආහාර ශාලා, කියැවීම් ශාලා, ගිලන් කාමර මේ සියල්ලම නව අත්දැකීම් සමූහයක් වුණත් ඒ දේවලට ඉස්කෝලෙ මහත්තයා ඉක්මනින්ම හුරු වුණා.

හැමදාම ඉස්කෝලෙ මහත්තයා පාන්දරින්ම අවදි වුණා. නිවාසයේ විශාල ගෙමිදුලේ ගහකොළ එක්ක කතා කළා. මෙතැනට එන බොහොමයක් දෙනා ඒ වගෙයි. තමන්ට මේ තාක් කියා ගන්ට බැරි වුණු දුක, කාන්සිය ගහකොළ එක්ක බෙදාගත්තා.

චෙකොෆ්ගෙ ‘වැලපීම’ කෙටි කතාවෙ මහලු මනුස්සයා තමන්ගෙ දුක කවුරුවත්ම නොඇසූ විට සිය අශ්වයාට පවසන හැටි ඉස්කෝලෙ මහත්තයාට මතක් වුණා.

ගෙවත්ත පුරාවට එක එක වර්ගයේ මල් පැළ හිටවලා හුඟක් වෙලාවට මේ ගස්වැල්වලට සාත්තු කරන්නෙත් කාගෙන්වත් පිහිටක් නැති මේ පිරිසමයි. එය ඔවුනට විශාල විනෝදයක් වගේම සහනයක් වුණා.

හැමදාමත් එකම විදිහට තියෙන සමන්පිච්ච වැලේ මල් පොහොට්ටුවක්වත් නැති තරම්. ඉස්කෝලෙ මහත්තයට මතක් වුණේ ගෙදර ඉස්සරහ තියෙන සමන්පිච්ච වැල. මුළු ගෙවත්තම සුවඳ වෙන්නෙ ඒ සමන්පිච්ච වැලෙන්.

“මේ වැලෙත් ඒ වගේ පිරෙන්න මල් පිපුණ නම්…” ඉස්කෝලෙ මහත්තයට හිතුණා.

ජීවිතයේ බොහෝ දේට හුරු වෙමින් කාලය ගෙවුණා. නිවාසයට නව සාමාජික සාමාජිකාවන් එකතු වෙනවා. තව අය මියයනවා. පුරුදු පුහුණු වූ චර්යාව ඒ ආකාරයටම හැමදාම ගලා ගියා.

ඉස්කෝලෙ මහත්තයට සුදු හාමිනේ මුණ ගැහුනෙත්, තමන් ආදරයෙන් සාත්තු කළ සමන්පිච්ච වැලේ පුංචි පොහොට්ටුවක් පිපුණෙත් එකම කාලයෙ.

‘සුදු හාමිනේ’ කියල හැමෝම ඇයට කතා කළේ යෞවන කාලයේ පැහැපත් පෙනුමකින්, මනා රූ සපුවකින් හිටි ලකුණු ඇය කෙරෙන් පලා නොගිය නිසාම නෙවෙයි. ඇයට තිබුණෙ කාටත් දිරිය දෙන වාසනාවන්ත පෙනුමක්. කාරුණික බවක්. ජීවිත කාලය පුරාම සැබෑ සෙනෙහස ඇය අත්විඳල තිබුණෙත් නැහැ.

සමන්පිච්ච වැල දැන් සරුවට වැඩිලා. මල් එක සීරුවට සුවඳයි. දෙන්නටම කවදාවත්ම නොදැනුන ජීවයක් ජීවිතවල දැනෙන්නට වුණා.

“ඉස්කෝලෙ මහත්තයා මං ඉස්සර හරිම හැඩකාරි. විශ්වවිද්‍යාලයෙ ඉන්න කාලෙ මාව සහේට ගන්න ඉළන්දාරි කොයි තරම් බලා හිටියද? ඒත් මගෙ හිත ගත්තු ඉළන්දාරියා මට කැමති වුණේ නැහැ. එදා ඉඳල මම හැමදාම තනි වෙන්න තීරණය කළා. මගේ හැමදේම සහෝදරයින්ට දුන්නා. පහුවෙද්දි එයාලට අපි ගැන බලන්න කාලයක් නැහැ නොවැ. අපි ඕවට තරහ අරන් හරි යන්නෙ නැහැ.”

සුදු හාමිනේ කියවගෙන යද්දි ඉස්කෝලෙ මහත්තයා අහගෙන ඉන්නෙ හරියට දරුවකුගේ දුක අහන්නා වගෙයි. සුදු හාමිනෙත් ඒ වගෙයි. ජීවිතය දිහාවෙ උපේක්ෂාවෙන් බලන්න සුදු හාමිනේ නිසාම ඉස්කෝලෙ මහත්තයට පුළුවන් වුණා.

“ඇයි සුදු හාමිනේ අපිව මේ තරම් පමාවෙලා මුණගැහුණෙ…”

“නෑ ඉස්කෝලෙ මහත්තයා. මේ තමයි ඒකට සුදුසුම කාලෙ… ජීවත් වෙන්න හැබෑ ආදරේ ඕනි මේ වයසට. තරුණ කාලෙ කෙනෙකුට ළං වෙන්නෙ ධනයට, බලයට, කාමයට. ඒ හිත් ඉක්මනට වෙනස් වෙනවා. ඒත් දැන් අපේ හිත් පිරිසුදුයි.”

සුදු හාමිනේ කියන්නෙ තමන්ගෙ පිරිපැසුණු බුද්ධිය තවමත් මොට වෙලා නැහැ කියල මතක් කරන්න වගෙයි.

ඉස්කෝලෙ මහත්තයා හුඟක් කල්පනා කළා. හැන්දෑවෙ දෙන්නම එකතු වෙලා සමන්පිච්ච වැලට සාත්තු කළා. කියැවීම් ශාලාවෙන් පොත් හොයාගෙන මාරුවෙන් මාරුවට කියෙවුවා.

අසනීප වෙලා සුදු හාමිනේව රෝහල්ගත කළා කියල ඇහුවම ඉස්කෝලෙ මහත්තයා හීල්ලුවා. මේ දෙන්නගෙ ළෙන්ගතුකම හැමෝටම රහසක් වුණේ නැහැ. කාටවත් ඒ ගැන ප්‍රශ්න කරන්න, හිතන්න මානසික වටපිටාවක් තිබුණෙ නැහැ. අසනීප තත්ත්වය බරපතළ වෙද්දි ඇයව නිවෙසේ ගිලන් ශාලාවට රැගෙන එන්න සිදු වුණේ මානසික සෞඛ්‍ය ගැන හිතලා. සුදු හාමිනේට කිසි අඩුවක් නොවෙන්න සත්කාර කරන්න ඉස්කෝලෙ මහත්තයට පුළුවන් වුණේ ඒ විදිහට.

ගිලන් යහන අසල හිටිය තමන්ගෙ වැහැරුණු අත සුදු හාමිනේගේ අතේ පැටලෙද්දි ඉස්කෝලෙ මහත්තයා කලබල වුණා. සුදු හාමිනේගෙ ඇඟිලි හිර වෙලා තමන්ගෙ අතට බරක් වෙද්දි ඉස්කෝලෙ මහත්තයා ඇයගේ දෑස් දිහාවෙම බලා හිටියා.

කියා ගන්නට බැරි අසරණකමක් මුසු වුණු ඒ බැල්ම සංසාරගත බැඳීමක ආත්මීය නිමාවක ලකුණු සටහන් කළා. ඉස්කොල මහත්තයා පොඩි ළමයෙක් වගේ ඉකිබින්දා.

ඒත් එක්කම මිදුලෙ සමන්පිච්ච වැලේ මල් සුවඳ ඔහුට දැනී නොදැනී ගියා.

 https://www.silumina.lk/2025/05/03/%e0%b7%81%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%ba-%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b7%8a%e0%b6%bb%e0%b7%84%e0%b6%ba/40450/%e0%b7%83%e0%b7%90%e0%b6%b3%e0%b7%91-%e0%b7%83%e0%b7%99%e0%b7%80%e0%b6%ab/?fbclid=IwY2xjawKGv9pleHRuA2FlbQIxMQABHubPx4NY0O6wZJMaHNYTRnYsr-_DvYuo684F3mrrAMD2IWq4lZfTQqru2w3M_aem_Cc0iTAJRZyZ_HHcuo2z9Mg



Nissanka Rajapaksa

unread,
May 7, 2025, 8:12:42 PMMay 7
to INDRAKA group
19
සඳළුතලයේ ආදරය ...

- මංජුල සේනාරත්න 

ඇගේ මුහුණ අමතක කර දමන්නට මම උත්සාහ කරමි . එහෙත් එය පහසු නැත . වැස්ස වහින විට ඇය වැහි බින්දුවක් සේ පැමිණ මගේ කොපුල තෙත් කරයි . හිම වැටෙන කාලයට , හිම මත ලැගුම් ගෙන මදෙස බලා සිනහසෙයි . රෑ හීතලේද , අව් රශ්මියේද , හමන සුළං රැල්ලකද එතී පැමිණ ඇය මට හාදු දෙයි . කල්ප ගණනාවක් සේ ගෙවී ගිය සති කීපයකට පසු ඇයගේ මුහුණ කිසි දිනක අමතක කර දමන්නට නොහැකි බව මම පසක් කර ගතිමි .

ඇගේ ඒ රවුම් මුහුණේ තැනක රැඳුනු උපන් ලපයකි .  

මේ උපන් ලපය සත්‍ය වශයෙන්ම උපන් ලපයක් නොව , වයස අවුරුදු හතරේදී , ගෙවත්තේ අඹ මලක වසා සිටි බඹරෙකු කෝප ගැන්වීමේ ප්‍රතිපලයකින් ලැබුණු එකක් බව ගෙවුණු නොවැම්බර් මාසයේ දවසක ඇය මට කීවාය . 

සාගරයේ ඇහි බැම්මට ඉහළින් පායා එන්නට සැරසෙන හිරුට එදින කිසිදු හදිසියක් තිබුණේ නැත . බැලූ බැල්මට පෙනුනේ හිරු , වැහි වලාකුළු සමග සාකච්ඡාවක යෙදී සිටින්නාක් මෙනි . 
"කව්ද මුළින්ම යන්නේ ...මමද ඔයාද ..? ඔයා කාලෙකින් ආවේ නැහැ .." අවදි වන්නට අලසව සිටි හිරු වැහි වළාකුලට කීවා විය යුතුය .

 හිරු පැමිණියද ද , නොපැමිණියද , වැසි වැටුනද , නොවැටුන ද මට කම් නොවීය .  

සොබා දහම අවදි වී නොසිටියද , නගරය අවදි වී තිබුණි . ඒ දෙගොල්ලන්ටම කළින් , පාන්දර ජාමයේ මොහොතක අවදි වුණු ඇය , නිදියමින් සිටි මගේ මුහුණ මත දෑගිලි වලින් රූ රටා සිතුවම් කරන්නට පටන් ගත්තාය . 
"නෝ ..නෝ .. නෝ ..." මම නිදි මත මතින්ම කීමි . එහෙත් ඇය තමන්ගේ සිතුවම නවතා දැම්මේ නැත . ඇගේ දෑගිලි , මගේ මුහුණින් බැස , ගෙල වටා දිව ගොස් , ලය මත පතිත වූ විට මම දෙනෙත් විවර කළෙමි . මගේ සිරුර අවදි වෙමින් තිබුණේ ඇගේ ස්පර්ශයට නොවේ . ඇගේ බැල්මටයි . ඇගේ මුහුණ , ඇගේ බැල්ම සිරුරු ගිනි තබන "ගිනි අවුලවන හමුදාවක් " වැනිය . අවදිවෙමින් තිබුණේ මගේ සිරුර පමණක් නොවේ . මගේ ජීවිතයද , මගේ ආත්මයද අවදි වෙමින් තිබුණි .

එදා ඒ දවස අපි ඇරඹුවේ හෝරාවකට වඩා වැඩි කාලයක් සිරුරු වලින් එතී , ප්‍රේම අල්ලාප සල්ලාපයේ යෙදී , හැඟීම් දබරය අවසානයේ දෙනෙත් නිලංකාර කරන සුවබර ආලෝකය සොයා යමිනි . අනතුරුව එකිනෙකා දෙස බලමින් , දෙතොලට නගා ගත් සිනහවෙන් , ගෙවුණු හෝරාවේ රස මුසු තැන් නිහඬව ආවර්ජනය කරමිනි .

අනතුරුව සඳලු තලයට පැමිණ, ලී බැංකුවේ මා අසුන් ගත් පසුව , මගේ ඔඩොක්කුවේ වාඩි ගෙන නිරුවත් සිරුරු වැසෙන්නට සුදු පැහැති ඇඳ රෙද්ද අප වටා දවටා ගත් ඇය උපන් ලපයේ කතාව කියන්නට පටන් ගත්තාය . 
"මී මැස්සෙක් ආවා . මම දිව්වා . ඌ නැවතුනේ නැහැ . අන්තිමට ඌ මට විද්දා . හම කළු වුණා . පොඩි ලපයක් ආවා . ඒක තමයි උපන් ලපයක් වුණේ . .." ඇගේ විස්තර කිරීම ගැන විශාල හැඟීමක් මට නොවිණ . ඇගේ සිරුරින් විහිදෙන්නට වූ ආදර උණුසුමේ රස්නයෙන් මගේ සිරුර දැවෙමින් තිබුණි . වැසි වැටෙන්නට විය . කොළඹ අහස සිප ගෙන පැමිණි හිරිකඩ නොවන්නට , ඒ හිරිකඩ ගෙනා සිසිල නොවන්නට ඇය මා දවා දමනවා නිසැකය .

මාස කීපයකට පෙර දිනක , වෙන් වී යන්නට අපි තීරණය කළ මොහොතේ , වෙන් වීමට වඩා හය වැනි තට්ටුවේ මේ බැල්කනියෙන් පැන මිය යාම වඩා හොඳ යැයි ඇය කීවාය . ගත වෙමින් තිබුණේ අපි දෙදෙනා ප්‍රිය කළ අවදියක් නොවේ . පස් වසක් ගතව ගොස් තිබුණද , බැල්කනියෙන් බිමට පැන මිය යන මාර්ගය විනා , එකට එක්ව ජීවත් වීමේ මාර්ගයක් අපිට හමුවී තිබුණේ නැත . 
"අමාරු වැඩේ පනින එක නෙමෙයි . ඔලුව වදින කොට රිදෙන එක ඉවසගෙන ඉන්න බැරි එක .." මම කීවෙමි . 

"ඔලුව වදින එක තේරෙන්නේ නැහැ . රිදෙන එක තේරුම් ගන්න අපි ජීවත් වෙලා ඉන්න එකක් නැහැ .අනෙක් අතට බිඳෙන්න , කැඩෙන්න රිදෙන්න තැනක් මගේ ඇඟේ නම් නැහැ . මාව සම්පූර්ණයෙන්ම පණපිටින් මරා දාලා වගේ .." ඇය කීවාය . ගැහැනුන් ට ආදරේ කරන ඇතැම් පිරිමින් ඒ ගැහැනුන් ව නොමරා මරා දමන බවත් , ඇගේ අසීමිත ආදරය හමුවේ මා කරමින් සිටියේ ඒ නරුම කාර්යයම බවත් තේරුම් ගනිද්දී බොහෝ දේ සිදුව තිබුණි . නිවැරදි කර ගත නොහැකි තරමේ වැරදි සිදුව තිබුණි . 

යහමින් ඉඩකඩ ඇති තට්ටු නිවාසයක් තිබුණද , එහි අපේ ප්‍රියතම ස්ථානය වූයේ බැල්කනියයි . එහි වැඩි ඉඩක් තිබුණේ නැත . නිවසට පැමිණි එක් වතාවක ඇය කුඩා මල් පෝච්චි දෙකක් රැගෙන පැමිණියාය . ඒ පස් වසරකට පෙරයි . අනාගත බලාපොරොත්තුවක් ගොඩ නැගිය නොහැකි තැනකට , මල් පෝච්චි රැගෙන විත් තබා , වතුර , පොහොර දමා , වැඩෙන්නට දිරි දී ඒවා ආරක්ෂා කරන්නේ ඇයිදැයි වටහා ගැනීමේ ශක්තියක් මට නොවිණ . ගැහැනුන් එසේය . ගැවසෙන , නිවසන තැන ලස්සන කරන්නට අනාගත බලාපොරොත්තු ඔවුනට වුවමනා නොවේ . ආදරය කරන මිනිසා සමග ගත කරමින් සිටින මේ මොහොත ජීවිතයේ සොඳුරුතම මොහොත යැයි සිතනා ගැහැනු , හෙට දවස ගැන සිතීමේ කාර්යය මිනිසාට භාර දෙති . ඇය සමග ගත කළ සෑම මොහොතක්ම ජීවිතයේ සොඳුරුතම හෝරා බව ඒ දිනවල මට වැටහුණේ නැත .

හයවැනි තට්ටුවේ ඒ බැල්කනියෙන් පනින්නට අපි තීරණය කළ දවසේ ඇය තම සුපුරුදු දහවල් ආහාරය සූදානම් කළාය . අත්ල හිරි වට්ටන තරමේ බීර වීදුරුවක් රැගෙන බැල්කනියට පැමිණ මට නිවෙස දෙසින් ගලා ආ පිසෙන අහරේ සුවඳ දැනුණි . එය බොහෝ සරළ අහර වේලකි . බතකි . පරිප්පුවකි . සැමන් තෙම්පරාදුවකි . සම්බෝලයකි . පැත්තකින් පපඩමකි . 

මේසයට හිස නමා ගෙන , අහර පිළියෙළ කළ ගැහැනිය අමතක කර , පිඟානට සම වැදී කුස පුරවමින් සිටින මා දෙස බලා සිටින ඇගේ මුහුණේ සිනහවක් ඇඳී තිබෙන්නට ඇත . ගැහැනු යනු ප්‍රිය මිනිසාගේ කුස පිරෙනු දැක තම හිත පුරවා ගන්නා අපූරු සත්ව විශේෂයකි .

වෙන්ව යාමට වඩා ජීවිතයෙන් සමු ගැනීම වඩා සැනසිලි දායක යැයි ඇය මට කී මුල්ම අවස්ථාව ඒ සවස් යාමය නොවේ . ආහාරයෙන් පසු , සාලයේදී ඇති වුණු පුංචි කතා බහ , වදන් හුවමාරුවකට පරිවර්තනය වෙද්දී , ඒ වදන් වලට කෝපය , වෛරය , ඊරිසියාව එකතු වී ආරවුලකට හැරුණි . ආදරය හිතේ පුරවා ගත් ගැහැනුන් යක්ෂණියෝ වෙන්නේ ඉතාම ලෙහෙසියෙනි . ඇය බැල්කනිය දෙසට දිව ගියාය . ඇය පසු පසින් ගියද , බිත්ති කණ්ඩියට අඩිය තබා , බිමට පනින්නට පෙර ඇය මා දෙස බලද්දී මම ගල් ගැසුනෙමි . ඇගේ මුහුණේ ඇඳුනු සිනහවකි .

වෙන්වී යාමට වඩා මරණය සැනසිලිදායක යැයි ඇය කියූ වාර ගණන බොහෝය . දැන් ඇය මරණය තෝරා ගෙන තිබේ . අපේ ප්‍රේමයට පාරාදීසයක් වූ බැල්කනියෙන් පැන ජීවිතයට සමු දෙන්නට සූදානම් වන ඇය වළක්වා ගැනීමේ හැකියාවක් මට තිබුණේ නැත . ඇතැම් විටක ඇය සමග මමද බැල්කනියෙන් පිටත අවකාශයට පය තැබුවෝතින් අපේ වෙන් වීමක් සිදුවන්නේ නැතැයි මට සිතුණි . අපි දෙන්නාම මිය යනු ඇත. 

ඇගේ අත අල්ලා ගතිමි . එකිනෙකාට සිනහසුණු අපි දෙන්නා බැල්කනියෙන් පහළට පැන්නෙමු .

එය තත්පර කීපයක ගමනකි . එහෙත් ඒ මොහොතක ඇය සමග ගත කළ සෑම තත්පරයක්ම මෙන් කල්පයක් වැනිය . අප දෙනෙත් ඉදිරියේ මැකී යන නගරයේ සිරි දුටිමු . පස් වසරක ආදරයේ සොඳුරු මතක යළි ආවර්ජනය කිරීමට අපි දෙදෙනාටම හැකි විය . එය මනරම් පස් වසකි . එය අපූරු ආදරයකි . 
"අපරාදේ අපි මැරෙන්නේ .. අපේ ආදරේ හිතේ තියාගෙන ජීවත් වෙන්න තිබ්බා ." ඇය කීවාය .
"සමහර විට අපි නොමැරී බේරුනොත් එහෙම කරමු . වෙන් වෙලා යන එක හොදයි .. මැරෙනවට වඩා . අපි දෙන්නටම පුළුවන් අපි දෙන්නා දිහා බලා ඉන්න . වැරදි තැනක ඉඳලා හරි .."
"අපි මැරෙයිද ..? "
"නැහැ ..ජීවිතය අපිව බේර ගනියි ."

ගොඩනැගිල්ලේ බිම් මහලේ සිමෙන්ති පොළොවට අපේ සිරුරු පතිත වෙද්දී කිසිදු වේදනාවක් අපිට දැනුණේ නැත . නිරුවත් දෙපා පොළොවේ වදින විට තදින් දෙනෙත් පියා ගතිමු . ඒ දෙනෙත් යළි විවර කරද්දී අපි මිය ගොස් නැති බව වටහා ගන්නට හැකිවිය .

යළි තට්ටු නිවාසයට එන්නට සෝපානයට ගොඩ වුණු විට කලිසම් සාක්කුවේ තිබුණු ජංගම දුරකථනය අතට ගෙන අපි දෙන්නාගේ රුව "සෙල්ෆී " යක ඇය සටහන් කර ගත්තාය . එය අපේ අවසන් සෙල්ෆියයි.

වෙන්වීම මරණයකින් හමාර නොවීම ගැන ඇය සතුටු වනු බව මම දනිමි . යළිත් වරක් ජීවත් වීමේ වරමක් දෛවය අපට ලබා දී තිබේ . ජීවත් වීමට ඇත්තේ කෙටි කාලයක් විය හැකිය . ඇය සමග හෝ ඇගේ රුව සිතේ දරා ගෙන ගෙවන කෙටි කාලය පවා නොනවතින දවසකි .   

මේ මොහොතේ ඇය සිටින්නේ කොතනදැයි මම දනිමි . මා මෙන්ම ඇයත් මේ මොහොතේ බැල්කනියේ අපේ ආදරය ගැන සිතන්නේදැයි නොදනිමි .

Nissanka Rajapaksa

unread,
May 8, 2025, 7:19:44 PMMay 8
to INDRAKA group
20
නිරුවත් සිතුවම

~ අනුර බී. සෙනෙවිරත්න

(නිරුවත් සිතුවම කෙටිකතා සංග්‍රහයෙන්)

ඇඩලින් එම දැන්වීම් පුවරුව දුටුවේ අහම්බෙනි. පැයකට ෆ්‍රෑන්ක් එකසිය පනහක්! චිත්‍රයකට පෙනී සිටින්නට එතරම් මුදලක්! ඇයට එය අදහා ගත නොහැකි ය. ඇය පැමිණෙමින් සිටියේ රෝහලේ සිට ය. සැමියාගේ හෘද සැත්කම හෙට දින සිදුකරන බව වෛද්‍යවරුන් ඇයට දැනුම් දුන්නේ මීට මොහොතකට පෙර ය. ගාස්තුව ගැන නොතකා ඔහුගේ ජීවිතය බේරාගන්නට ඔවුන් ඒ සැත්කම සිදුකරන බව ඇයට විශ්වාස ය. ඒ මෙහි රෝහල් පද්ධතියේ ඇති මානුෂීයභාවය නිසා නොවේ දැයි ඇය කල්පනා කළා ය. එහෙත්, ඒ සඳහා ගෙවිය යුතු හිඟ මුදල වන ෆ්‍රෑන්ක් පන්සියයක මුදල තමා රෝහලට ගෙවිය යුතු නොවේ ද? ඇය රෝහලෙන් පිට වූයේ එතරම් මුදලක් කොහෙන් සොයාගන්න දැයි දහඅතේ කල්පනා කරමිනි.

කෙනකුගේ චිත්‍රයක් අඳින්නට ඔවුන් වැඩි ම වුණොත් පැයකට දෙකකට වඩා ගත නොකරනු ඇත. අවශ්‍ය මුදලින් අඩක් හෝ එමගින් ලැබේ නම්, එය ද තමන්ට විශාල සහනයක් යැයි ඇඩලින් කල්පනා කළා ය.

එහෙත්, මෙය තමා තම සැමියාට සිදුකරන ද්‍රෝහිකමක් නොවන්නේ ද? ඔහු අසල දී හැර වෙනත් කිසිදු පිරිමියකු ඉදිරියේ නිරුවත් වී නැති තමා මොන හිතකින් මෙය සිදුකරන්න ද? මේ සදාචාරය ගැන සිතමින් සිටින්නට කාලයක් නොවේ. මිලන් සිටින්නේ ජීවිතයත්, මරණයත් අතර සටනක ය. අනෙක් අතට මෙය අනාචාරයේ හැසිරීමක් ද නොවේ. පැය කිහිපයක් ඇතුළත එපමණ මුදලක් සොයා ගන්නට වෙනත් ක්‍රමයක් ද නැත. දෙපසට බෙදී තර්ක විතර්කවල යෙදෙන තමාගේ සිතට ධෛර්යය උපදවා ගත් ඇඩලින් ‘වෙන දෙයක් වෙද්දෙන්’ කියා කලාගාරයට ඇතුළු වූවා ය.

කලාගාරයේ තැනින් තැන විවිධ ඉරියව්වලින් සිතුවම්වලට පෙනී සිටින නිරුවත් යුවතියන් ය. ඔවුන් ඉදිරියේ දැහැන්ගත වූවන් මෙන් කැන්වසවල ඒ රූ සිත්තම් කරන සිත්තරුන් ය. ඇඩලින් ද ඒ අපූරු දර්ශනයෙන් මොහොතකට දැහැන් ගත වූවා ය.

”සමාවෙන්න! මැඩම්. මැඩම් ආවේ... චිත්‍රයකට පෙනී ඉන්න ද? ̃ ඇඩලින් අසලින් නැගුණු යුවතියකගේ සිහින් මිහිරි ස්වරය ඇගේ දැහැන බිඳ දැම්මේ ය.

”ඔ... ඔව්. ඒකට පැය කීයක් විතර යයි ද? ඇඩලින් අමාරුවෙන් වචන ගළපා ගත්තා ය.

”ඒක නම් තීරණය කරන්නෙ ඒ චිත්‍ර ශිල්පියා ම තමයි මැඩම්. මේ වෙලාවෙ නං... අපේ අය හැමෝ ම වැඩ. මැඩම්ට ටිකක් ඉන්න වෙනව. මැඩම් අතනින් වාඩිවෙලා ඉන්න. මම කතා කරන්නම් ̃ තරමක් එපිටින් වූ සෝෆාවක් දැක් වූ යුවතිය, ඇඩලින් එහි කැටුව යන්නට සූදානම් වූවා ය.

”අමේලී! ඒ මැඩම් මා ගාවට එක්ක එන්න. ̃ වීදුරු කුටියක දොර ඇර යුවතියට පැවසූ මැදිවියේ පුද්ගලයකු නැවත කුටිය තුළට ගියේ ය.

”හොඳමයි සර් ! ̃ යුවතිය පිළිතුරු දුන්නා ය. ඉබේ වැසී යන වීදුරු දොර දෙසත්, කුටිය තුළට ගමන් කරන මැදිවියේ පුද්ගලයා දෙසත් ඇඩලින් අරමුණකින් තොරව බලා සිටියා ය.

”ඒ අපේ බොස්. පැරිසියේ ඉන්න ප්‍රසිද්ධ ම චිත්‍ර ශිල්පියා. කෙනෙක්ගේ චිත්‍රයක් අඳින්න බොස් ලෙහෙසියෙන් කැමැති වෙන්නෙ නැහැ. මැඩම් හරි ම වාසනාවන්ත යි. ̃ ප්‍රධානියාගේ කුටිය වෙත ඇඩලින් කැටුව යමින් යුවතිය පවසන්නී දැඩි උද්දාමයෙනි.

වීදුරු කුටියේ දොර අසල දී ඇඩලින්ට අතට අත දී සමුගත් යුවතිය වෙනතකට ගියේ, ඇඩලින්ට ඇතුළට යන්නට වීදුරු දොර විවෘත කර දෙමිනි. වීදුරු දොර සෙමෙන් වැසී යත් ම, ඇඩලින් ගැහෙන හදවතින් යුතුව ඉදිරියට පිය මැන්නා ය. ඔහු සිටියේ, චිත‍්‍ර අඳින ආම්පන්න සූදානම් කරමිනි.

”එන්න මිස්. අර නාන කාමරේට ගිහින් ඇඳුම් අහවර කරලා.. ඇඟපත සෝදගන්න. තොල් සායම්... රෝස පුයර ඒ හැම දේ ම තහනම්. ස්වභාවික පෙනුමෙන් ම ඉන්න ඕන” කුටියේ කෙළවර පිහිටි නාන කාමරය දක්වමින් ඔහු පැවසුවේ තමා කරමින් සිටි කටයුත්ත දිගට ම කරගෙන යමිනි.

නාන කාමරයට ඇතුළු වූ ඇඩලින් සිය ඇඟළුම් එකින් එක ඉවත් කරන්නට වූවා ය. සම්පූර්ණයෙන් ම නිරුවත් වූ ඇය විසල් කැඩපතේ ඇඳී ඇති තම නිරුවත් රූපය දෙස ඇසිපිය නොහෙළා බලා සිටියා ය. ඇඩලින් තමාගේ නිරුවත මේ දකින්නේ බොහෝ කලකට පසුව ය. ඇගේ නිවසේ කුඩා නාන කාමරයේ කැඩපතක් තිබුන ද, සම්පූර්ණ සිරුර දැක ගන්නට තරම් එය ප්‍රමාණවත් නැත. අවුරුදු විසිඅටක විවාහක ගැහැනියක වුව ද, තමා තවමත් රූමත් යැයි ඇයට සිතිණි.

ඇඟේ නූල්පටක්වත් නැතිව තමා මෙසේ ඔහු ඉදිරියට යන්නේ කෙසේ ද? තමාගේ සබකෝලයට වඩා වටින්නේ මිලන්ගේ ජීවිතය නොවේ ද? දෛවය එසේ කරන්නට තමාට නියම කර ඇත්නම්, තමා වෙන කුමක් කරන්න ද? ඇඩලින් තවත් මොහොතක් කල්පනා කරමින් සිටියා ය. අනතුරුව සිතට ශක්තිය එකතු කරගත් ඇය නාන කාමරයෙන් පිටතට පැමිණියා ය.

”වාව් ! මම හිතුව හරියට ම හරි…” චිත්‍ර ශිල්පියා කැන්වසය අසල සිට ඇඩලින්ගේ රූමත් නිරුවත් රුව දෙස බලා සිටින්නේ ජීවිතයේ පළමුවරට දකින දසුනක් නරඹන්නකු සේ ය. ඔහුගේ තියුණු දෑස ඇඩලින්ගේ නිරුවත් සිරුරේ රූසිරි සිත් සේ උරා බොයි. ඇඩලින්ට කෝල බවක් දැනිණි. ඇය තම වම්අත දකුණු උරහිස දක්වා ගෙන ගොස් කිරි බිඳක් යදින්නා සේ ඉහළ බලා සිටින තිසරුන් දෙදෙන ආවරණය කරගන්නට නිරර්ථක උත්සාහයක යෙදුණා ය. ඒ සමඟ ම ඇය තම දකුණතින් ඇගේ රහසඟ පෙදෙස ද හැකි පමණ වසා ගත්තා ය.

”ඔව්... මම හිතුව හරි…” දැහැන්ගතව සිටින ඔහු නැවත නැවත එක ම වැකිය පුනරුච්චාරණය කළේ ය. ඇඩලින්ට එය ප්‍රහේලිකාවකි. ඔහු පවසන්නේ කුමක් දැයි ඇයට නොවැටහෙයි.

”හරි කිව්වේ..?. ̃ ඇය සිහින් හඬින් විමසා සිටියා ය.

”ඔබ දැක්ක ගමන් මට හිතුණා.. ඒ ඇඳුම්වලට යටින් අපුරු කලා කෘතියක් හැංගිලා තියෙනව කියල. ඒක හරියට ම හරි. ̃ ඔහු උද්දාමයෙන් පවසයි.

”චිත්‍රය අඳින්න පැය කීයක් විතර යයි ද ? ̃ ඇඩලින්ට අවශ්‍ය මේ කතාව වෙනතකට හරවන්නට ය.

”මේ චිත්‍රය එහෙම ඕනවට එපාවට ඇඳල බැහැ. ඇයි ඔබට යන්න හදිස්සි ද? චිත්‍ර ශිල්පියා ඇඩලින් වෙත පැමිණෙමින් විමසයි.

”ඔව්. ඇත්ත ම කියනව නම්.. හදිස්සියි තමයි. මගේ සැමියා ඉස්පිරිතාලෙ. හෙට එයාට හදවත් සැත්කමක් කරනව. ඒකට බඳින්න තවත් ෆ්‍රෑන්ක් පන්සීයක් හොයාගන්න ඕන. ඒකයි.” ඇය සියල්ල ඔහුට නොවලහා පැවසුවා ය.

ඇඩලින්ගේ නිරුවත් සිරුරේ රූසිරියෙන් කුල්මත්ව දීප්තියෙන් බැබලෙමින් තිබුන ඔහුගේ දෑසත්, සතුටින් ඔප්නැංවී තිබුණු ඔහුගේ මුහුණත් ඇගේ ඒ වචනත් සමඟ එකවර ම අඳුරු වී ගියේ ය.

”සමාවෙන්න! ඇත්තෙන් ම මං දැනගෙන හිටියෙ නෑ.. ඔබ ඒ වගේ කරදරේක ඉන්නවා කියල. ඔහුට ඉක්මනින් සනීපවෙන්න කියල අපි ප්‍රාර්ථනා කරමු. එහෙම නම් අපි පටන් ගමු”

චිත්‍රයට පෙනී සිටින්නට ඇඩලින් රැඳී සිටිය යුතු ස්ථානයට ඇය කැඳවාගෙන ගිය ඔහු, චිත්‍රය ඇඳ අවසන් කරන තෙක් ඇය පෙනී සිටිය යුතු ඉරියව්ව ඇයට පැහැදිලි කරන්නට වී ය.

”මොකක් ද... නම කීවේ? ̃ හදිසියේ ම ඔහු කිසිවක් සිහිපත් වූ කලෙක මෙන් විමසන්නේ හරියට මීට කලින් තමා ඔහුට තමාගේ නම සඳහනක් කළාක් මෙනි.

”ඇඩලින්”කෙටි විරාමයක් තබා ඇය තම නම කියා දැම්මා ය.

”ඇඩලින්! ෂා... ඒක.. ඔබට ම ගැලපෙන නම” මඳ සිනාවක් නගමින් ඔහු පවසයි.

”ඒ මොකද? ̃ ඇය ද සිය මුවට මඳ සිනාවක් නගා ගත්තා ය.

”ඇඩලින් කියන්නේ... කරුණාවන්ත කමට කියන හොඳ ප්‍රංශ නමක්. ඒ නිසා... ඒක ඔබට හරියට ම ගැලපෙනවා... ̃

”ඔබ කොහොම ද කියන්නෙ... මම කරුණාවන්ත යි කියල ?" ඇය සුපුරුදු මඳ සිනාවෙන් යුතුව ම පෙරළා ප්‍රශ්න කළා ය.

”තමන්ගෙ සැමියගේ හදවත බේරගන්න පුළුවන්... ඔබේ වගේ කරුණාවන්ත හදවතක් තියෙන බිරිඳකට විතරයි” චිත්‍ර ශිල්පියා පවසන්නේ වඩාත් හැඟීම්බර වෙමිනි.

ඒ හැඟීම්බර වදන් ඇඩලින්ගේ හදවත වේදනාවෙන් සිරකරන්නට වී ය. ජීවිතයත්, මරණයත් අතර සටන් කරන තම සැමියා මිලන් ඇයට සිහිපත් වූයේ, නිතැතිනි. ඒ සමඟ ම ඒ වේදනාව දෑසින් පිටවූයේ සිහින් ඉකිබිඳුමක් ද සමඟිනි.

චිත්‍ර ශිල්පියා ඇය සනසාලන්නට උත්සාහ නොකළේ ය. වේදනාව පහව යනතෙක් හඬන්නට ඉඩ දී ඔහු නිහඬව බලා සිටියේ ය. හදිසියේ ඇද හැලී මඳින් මඳ තුරල් වන සිහින් වැස්සක් මෙන් ඒ ඉකිබිඳුම තුරල්වෙද්දී ඔහු ඈ කරා ගියේ ය.

”මට සමාවෙන්න! මම ඔබ ඇඬෙව්වා…” ඔහු බිඳුණු හඬින් පැවසී ය. ඒ සමඟ ම ඇඩලින් හිස එසවූවා ය. අනතුරුව, දෑසින් ගලාගිය කඳුළුවැල් පිටිඅත්ලෙන් පිස දා ගත්තා ය.

”නැහැ... මම යි ඔබෙන් සමාව ගන්න ඕනි. ඇත්තට ම... මම ටිකක් හැඟීම්බර වුණා. මේ වගේ වැදගත් වැඩක් කරද්දිවත්... මට එහෙම නොවී ඉන්නයි තිබුණෙ. ඉන්න මම මුහුණ සෝදගෙන එන්නම්” එසේ පැවසූ ඇය වාඩිගෙන සිටි තැනින් බිමට බසින්නට සූදානම් වූවා ය.

”එපා..! එපා..! මුහුණ සෝදන්න ඕනි නැහැ. මෙහෙම හොඳයි. මට ඕවි කඳුළු අතරින් සිනාසෙන යුවතියකගෙ සිතුමක් අඳින්න” ඔහු තරමක් හඬනගා සිනාසෙමින් පැවසී ය. 

ඔහුගේ ඒ සිනහව ඇඩලින්ගේ සිතට ද සැහැල්ලුවක් එක් කළේ ය. සිනාමුසු මුහුණින් ම කැන්වසය වෙත ගිය ඔහු ස්කෙච් පැන්සල ගෙන දකුණතේ ඇඟිලි අතර එය රඳවා ගත්තේ ය. අනතුරුව ඔහු ඇඩලින්ගේ නිරුවත් සිරුරේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වාත්, පාදාන්තයේ සිට කේශාන්තය දක්වාත් කිහිපවරක් ම තම දෑස ගෙන ගියේ ය. ඒ අතර ඇගේ ඉරියව්වල සිදුකර ගත යුතු වෙනස්කම් පිළිබඳව ඇයට උපදෙස් දෙන්නට ද ඔහු යුහුසුළු වී ය. එහෙත්, තම ඇඟිල්ලක්වත් ඇඩලින්ගේ සිරුරේ ස්පර්ශ නොකරන්නට පරිස්සම් වූ ඔහු ඒ සෑම උපදෙසක් ම වචනවලට පමණක් සීමාකර ගත්තේ ය.

සිතුවම ඇඳීම පටන්ගන්නට පෙර තවත් මොහොතක් ඇගේ ඉරියව් අධ්‍යයනය කරමින් අඩුපාඩු සකස් කරන්නට වූ ඔහු පළමු රේඛා සටහන කැන්වසය මත මුදා හැරියේ තවත් සෑහෙන වේලාවකට පසුව ය. නාරි ලාලිත්‍යයෙන් පිරිපුන් ඇඩලින්ගේ සුන්දර දේහයට අනුව කැන්වසයේ සටහන් වන දළ සටහන නැවත නැවත සන්සන්දනය කරමින්, විනාඩි පහළොවකට විස්සකට පමණ වරක් ඇඩලින්ට විවේකයක් ලබාදෙමින් ඔහු ඒ සඳහා පැය ගණනාවක් ගත කළේ ය.

ඔහු සිතුවම වර්ණ ගන්වන්නට වූයේ, ඉන් අනතුරුව ය. එක ම ඉරියව්වෙන් සිටින ඇඩලින්ගේ රූපකායේ රැඳී ඇති අඳුර සහ ආලෝකයත්, පිරිපුන් ළැම පෙදෙසේ සහ පුළුල් නිතඹේ සුන්දරත්වයත්, රඹ කඳන් යුවලක් වන් දඟ යුවලේ සුන්දරත්වයත්, ඇගේ මන්දස්මිතයට යටින් ඇති ශෝකී පෙනුමත් ඔහුගේ තෙලිතුඩින් වර්ණ බවට පත්ව කැන්වසය මත පතිත වූයේ අපූරු ආකාරයට ය. ඇඩලින්ගේ සුන්දර වත කමලේ ඇති වියළුණු කඳුළු පැල්ලම්, ඇගේ නෙත්වල ඇති සදාකාලික දුක්මුසු බැල්ම චිත්‍ර ශිල්පියාගේ මනසේ සටහන්ව කැන්වසය වර්ණ ගැන්වූයේ විස්මිත ආකාරයට ය.

එක ම ඉරියව්වෙන් සිතුවමට මුහුණ දී සිටින ඇඩලින්ට වරින් වර තම සැමියා සිහිපත් වෙයි. එවිට චිත්‍ර ශිල්පියාගේ අවශ්‍යතාවට ඇගේ මුවකමල මත බලෙන් තවරාගෙන සිටින මන්දස්මිතය අතුරුදන් වෙයි. ‘මම කිව්වනේ.... මට ඕන කරන්නේ.. කඳුළු අතරින් සිනාසෙන යුවතියක් කියලා’ යනුවෙන් සිනාමුසු මුවින් පවසමින් යළි යළිත් එය මතක් කර දෙන්නට ඒ සෑමවිටෙක ම චිත්‍ර ශිල්පියාට සිදුවෙයි.

තමා සිතුවම ඇඳ අවසන් බව ඔහු ඇයට දැනුම් දුන්නේ අවසන් පින්සල් පාර කිහිපය ද ඊට එක්කරමිනි. ඒ වන විට ඔහු චිත්‍රය අඳින්නට පැය හයක පමණ කාලයක් ගෙන තිබිණි.

”හරි! දැන් ගිහින් ඇඳුම් ඇඳගෙන චිත්‍රය බලන්න එන්න” ඔහු පවසන්නේ සිතුවමින් දෑස් ඉවත් නොකර ගෙන ම ය. තම කාර්යය සාර්ථකව නිම කළ තෘප්තියෙන් ඔහුගේ දෑස් දිලිසෙයි.

”අමේලී! ̃ උස් හඬින් ඔහු තම සේවිකාව අමතන හඬ ඇඳුම් මාරුකරන කාමරයට ඇතුළුවෙමින් සිටින ඇඩලින්ට ඇසෙයි.

යටඇඳුම් ඇඟලා ගත් ඇය, බෝලකූඩුවේ එල්ලා තිබූ කලිසම අතට ගත්තා පමණි. එතුළ වූ ඇගේ ජංගම දුරකථනය මිහිරි හඬින් හැඬවෙන්නට පටන් ගත්තේ ය. වහා කලිසම් සාක්කුවට අත යැවූ ඇඩලින් එය පිටතට ගත්තේ දැඩි කුතුහලයෙනි.
දුරකථන තිරය මත සටහන්ව ඇත්තේ මිලන් සිටින රෝහලේ නම ය. ඇමතුම ඔහු සිටින වාට්ටුවෙනි. ඇය වෙව්ලන ඇඟිලි තුඩකින් එහි බොත්තමක් ඔබා එය කනේ තබාගත්තා ය. සැමියාගේ සැත්කම හෙට නොව, අද රාත්‍රියේ ම සිදුකරන්නට වෛද්‍යවරුන් තීරණය කර ඇති හෙයින්, හිඟ මුදල ද රැගෙන වහා ම රෝහලට පැමිණෙන ලෙස ඇමතුම ගත් හෙදිය දන්වා සිටියා ය.

ඇඩලින්ගේ දෙපා පණ නැති වේගෙන ගියේ ය. මෙම හදිසි දුරකථන ඇමතුමෙන් අදහස්වන්නේ ඔහුගේ තත්ත්වය බරපතළ වී ඇති බව ද? සැත්කම කලින් සිදුකරන්නට ඔවුන් තීරණය කළේ ඒ නිසා ද? කලබලයෙන් කලිසමට කකුල් ඔබා ගනිමින් සිටින ඇගේ හිස මතට දහසකුත් එකක් ප්‍රශ්න වැල නොකැඞී ගලා එන්නට පටන් ගත්තේ ය.

ටී ෂර්ටයට ඔළුව ඔබා ගනිමින් අත්බෑගය අතට ගත් ඇඩලින් කඩිනමින් කාමරයෙන් පිටතට පැමිණියා ය. අනතුරුව ඇය කුටියෙන් පිටවන අදහසින් කලබලයෙන් වීදුරු දොර වෙත දිව ගියා ය. වීදුරු දොර ඇරගෙන කුටියට පිවිසි චිත්‍ර ශිල්පියා ඇයට මුණගැසුණේ කුටිදොර ආසන්නයේ දී ම ය.

”මොකද... මේ කලබලෙන්. චිත්‍රය බලන්නෙ නැද්ද?” ඔහුගේ දෑස මවිතයෙන් විසල් වී ඇත.

 ”බැහැ... වෙලාවක් නැහැ. රෝහලෙන් කතා කළා. මිලන්ට අමාරුයි වගේ. අද ම සැත්කම කරනවළු” කෙටියෙන් සියල්ල පැහැදිලි කළ ඇය වීදුරු දොරටුවෙන් පිටතට දිවගියා ය.

”ඔයාගේ ගාස්තුව කවුන්ටරේ ඇති. ඒක අරන් යන්න!” වීදුරු දොර පියන ඉබේ වැසී යන්නට පෙර ඔහුගේ ඒ වදන් ඇයට පැහැදිලිව ඇසිණි.
කවුන්ටරයේ සිටි යුවතිය දුන් ලිපිකවරය ඇයට ස්තූති කරමින් ම අත්බෑගයට ඔබාගත් ඇඩලින් වීදියට පිවිස කඩිනමින් කුලී රථයකට ගොඩවූවා ය.

                          **********
මිලන්ගේ දකුණතේ එල්ලී ඇඩලින් විසල් හෝටලයට ඇතුළු වූයේ, අපමණ ප්‍රීති ප්‍රමෝදයෙන් යුතුව ය. ඔවුන් දෙදෙන මෙසේ කෑමකට පිටතට පැමිණියේ මාස ගණනාවකට පසු ය. වෛද්‍ය උපදෙස් මත ඔහුට මාස තුනහතරක් ම විවේක ගන්නට සිදුව තිබිණි. ඒ කාලය තුළ ඔහුගේ සියලු උවටැන් සිදුකළේ ඇඩලින් ය. මිලන්ගේ සැත්කමින් පසු ඇය ආරම්භ කළ ස්වයං රැකියාව ඒ සඳහා අවශ්‍ය නිදහස ඇයට ලබා දී තිබිණි.

ඔවුන් දෙදෙන වාඩිගත්තේ විසල් ශාලාවේ කෙළවරක වූ මේසයක ය. ශාලාවේ බොහෝ මේස හිස්ව ඇත. ශාලාවට පැමිණෙන බොහෝ දෙනා ඈතින් ඇති තවත් ශාලාවකට ඇතුළු වෙති.

”උත්සවයක් වගේ නේ ද ඩාලින් ?..” එදෙස බලමින් මිලන් පැවසුවේ ය.

”ම්... ඒ වගෙයි... ̃ ඇය ද එදෙස බලමින් මිමිණුවා ය.

එහි පැමිණි වේටර්වරයෙක් ඔවුනට ආචාර කර මෙනුපත් දෙකක් පිරිනැමී ය. ඇඩලින් තමා අතට දුන් මෙනුපත මේසය මත තබා අත් බෑගයේ වූ ජංගම දුරකථනය අතට ගත්තා ය.

”අද මෙහේ උත්සවයක් ද ? ̃ සිය මෙනුපත පෙරළමින් ම මිලන් විමසයි. ඒ සංවාදය ඇඩලින්ට එතරම් වැදගත් නොවූයෙන්, ඇය ජංගම දුරකථනයට එබුණා ය.

”ඇයි සර්... පැරිසියේ ඉන්න හොඳ ම චිත්‍ර ශිල්පියා හෙන්රි ඩුබොයිස්ගේ චිත්‍ර ප්‍රදර්ශනේ අදනේ..” වේටර්වරයා පවසන්නේ ඔහු ඒ ගැන බොහෝ දේ දන්නා බවක් පළ කරමිනි.

”පොඞ්ඩක් ඉන්න... පොඞ්ඩක් ඉන්න ! හෙන්රි ඩුබොයිස් කිව්ව නේද? මම පහුගිය දවසක ඔහු ගැන ලිපියක් කියෙව්වා ‘Art’ පත්තරේ තිබිල. ‘Naked Realities of Henry Doboise’ කියල තිබුණ ඒ හෙඩිමත් මට තාම මතකයි ̃ සැත්කමෙන් පසුව රෝහලේ ගතකළ දිනවල කරන්නට දෙයක් නොමැතිව දවසට දෙතුන් වතාවක් කියවූ ඒ පුවත්පතේ වූ ලිපි බොහොමයක් මිලන්ට ඒ කාලයේ කටපාඩම් ය.

”එහෙනම් සර් මේක බලන්න යන්න ම ඕනි. සර් මොනව ද බොන්න කැමැති?”

”දොඩම් ?”ඇඩලින් දෙස බලා විමසූ මිලන් ඇය දුන් ප්‍රතිචාරයට අනුව එය ඇණවුම් කළේ ය.

“ප්‍රදර්ශනේ බලන්න යනව ද ඇඞ්ලි ?” මිලන් සිය දෑත මේසය හරහා යවා ඇගේ අතක් අල්ලා ගත්තේ ය.

”ඔයාගේ කැමැත්තක්... මිලන්” සෙනෙහසින් ඔහුගේ ඇස්වලට එබී බලමින් ඇය පැවසුවා ය.

”එහෙනම් අපි... ප්‍රදර්ශනේ බලල ම ඇවිත් කෑම ගමු” මිලන් යෝජනා කළේ ය.

සෙමෙන් සෙමෙන් සිසිල්බීම පානය කළ ඔවුහු එහි බිල වේටර්වරයාට ගෙවා කොරිඩෝව දිගේ ගොස් ප්‍රදර්ශන ශාලාවට ඇතුළු වූ හ. ඇතුළුවන තැන ම ඇති කවුන්ටරයෙන් ප්‍රවේශපත් දෙකක් මිල දී ගත් ඔවුනට ප්‍රදර්ශනයට තබා ඇති සිතුවම්වල තොරතුරු දැක්වෙන කැටලොග් දෙකක් ද ලැබිණි.
ඇඩලින් තමාට ලැබුණු කැටලොග් එක අත්බෑගයට ඔබා ගත්තේ සිය ජංගම දුරකථනයට පැමිණි ඇමතුමකට ප්‍රතිචාර දක්වමිනි.

මිලන් ඉදිරියට පිය නැගුවේ එහි පිටු පෙරළා බලමිනි. ඇතුළත දකුණු පස පළමු පිටුව සැරසී තිබුණේ කාන්තාවකගේ නිරුවත් සිතුවමක සේයාරුවකිනි. සේයාරුවට ඉහළින් ‘My most favourite Oil Painting’ යනුවෙන් ඉංග්‍රීසියෙන් සඳහන් කර තිබූ අතර, එම සිතුවම නම්කර තිබුණේ ‘The woman who smiles through tears’ යනුවෙනි. සේයාරුවේ සිටින කාන්තා රූපය වඩාත් සමීප කර බැලූ මිලන් එක්වන ම නැවතී ඇඩලින් දෙසත්, සේයාරුව දෙසත් මාරුවෙන් මාරුවට බලන්නට වී ය.

”ඇයි?”ඔහුත් සමඟ ගමන නතර කළ ඇඩලින් තුළ කුතුහලය දැල්වී තිබිණි.

”මං බැලුවේ. මේ පේන්ටින් එකේ ඉන්න ලේඩි ටිකක් ඔයා වගෙයි. ඒත්... එයාට වැඩියෙන් ඔයා ලස්සනයි. මොකද මේ කාන්තාව හිනාවෙලා හිටියට හරි ම දුකෙන් ඉන්නෙ” මිලන් නැවත ඉදිරියට පියවර තබමින් පවසයි.

”විකාර…” ඇඩලින් ඔහුගේ දකුණු උරහිසේ එල්ලෙමින් පැවසුවා ය.

”ඔයත් නේකට් වුණා ම... මේ වගේ ඉඳියි” ඔහු කොක් හඬලා සිනාසෙමින් ඇය හා ශාලාව තුළට පියමැන්නේ ය.

”එච්චරයි දැන් අඩු..” ඇඩලින් සිය වම් අතින් ඔහුගේ වම් කන තරමක් තදින් මිරිකුවා ය. වේදනා හඬක් නැගූ ඔහු ඇඩලින්ගේ සිරුර කිටිකිටියේ තම සිරුරට තදකර ගත්තේ ය.

විවාහ වී වසරකටත් වැඩි කාලයක් ගෙවී ගොස් ඇතත්, ඇත්තෙන් ම තමා මේ වනතෙක් ඇගේ නිරුවත් සිරුර දැක නැහැ නොවේ දැයි ඒ සමඟ ම ඔහුට කල්පනා වී ය. ඊට හේතුව ඇය හා යහන්ගත වන සෑම මොහොතක ම කාමරයේ විදුලි පහන් නිවා දැමීම ඔහු පුරුද්දක් කරගෙන තිබීම ය.

ප්‍රදර්ශන ශාලාවට ඇතුළුවන තැන ඉදිරිපිට ම තබා තිබුණේ මිලන්ගේ නෙත සිත තදින් ම පැහැරගත් ඒ තෙල් සායම් සිතුවම ය. එය දුටු ගමන් ඇඩලින්ගේත්, මිලන්ගේත් දෙපා ඒ ඉදිරිපිට නැවතුණේ ඉද්ද ගැසුවාක් මෙනි.

”මේ නම් ඔයා ම තමයි ඇඞ්ලී..” මොහොතක් සිතුවම දෙස බලාසිටි මිලන් සිතුවම මත දෑස් දල්වාගෙන ම රහසින් මෙන් මිමිනුවේ ය. ඒ අතර ඇඩලින් එහි සඳහන් වැකි කියවා ගත්තා ය.

ඇඩලින්ගේ සිත අතීතයට දිවගියේ ය. ඇත්තෙන් ම මේ ඒ චිත්‍රය ම ද? එදා තමා පෙනී සිටි තමාවත් නොදුටු ඒ චිත්‍රය ම ද? ‘මට ඕන කරන්නේ... කඳුළු අතරින් සිනාසෙන යුවතියකගේ චිත්‍රයක්’ චිත්‍ර ශිල්පියා එදා පැවසූ වදන් දැනුදු ඇයට ඇසෙන්නා සේ ය.

මිලන් මේ ගැන වැඩියෙන් කතා කරන්නේ තමා ඔහු අසල සිටියහොත් ය. මෙය ඔහුට අමතක කරන්නට කළ යුතු හොඳ ම දේ ඔහුගේ අවධානය වෙනතකට හැරවී ම ය.

”අපි අතනින් පටන් ගමු මිලන්” වෙනතකට අතක් දිගු කළ ඇය එතැනින් තරමක් ඈතට ගියා ය.

ඇඩලින්ටත් හොරා මේ චිත්‍රය මිල දී ගෙන තවත් දෙදිනකින් උදාවන ඇගේ විසිඅට වන උපන්දිනයට මෙය ඇයට තෑගි කර ඇය පුදුමයට පත් කරන්නට ඇත්නම් කියා චිත්‍රය දෙස තවමත් අනිමිස ලෝචනයෙන් බලා සිටිමින් මිලන් කල්පනා කළේ ය.

ඒ අදහස සිත දරාගෙන ඔහු ඇඩලින් සිටි දෙසට නෙත් යොමු කළේ ය. ඇය වගේ වගක් නැතිව සිතුවම් නරඹමින් සිටින්නී ය. ඇයට හොරා චිත්‍ර ශිල්පියා හා කතා කළ යුතු ය. කැට්ලොග් එකේ පසු කවරයේ ඇති ඔහුගේ සේයාරුව සිත්හි තබාගත් ඔහු වටපිට බැලී ය.

චිත්‍ර ශිල්පියා නරඹන්නන් පිරිසකට සිතුවමක් විස්තර කරමින් සිටී. ඇඩලින් සිටින දෙස බලමින් ම මිලන් ඔහු වෙත ගමන් කළේ ය. ඔහුගේ ඒ කටයුත්ත අවසන් වන තෙක් මොහොතක් පසෙකට වී බලා සිටි මිලන් කඩිනමින් ඔහු වෙත ගියේ ය.

”සමාවෙන්න! මේ චිත්‍රයට මිලක් දාල නැහැ. ඒක කීයක් වෙනව ද? ̃ කැට්ලොග් එකේ ඇති නිරුවත් සේයාරුව දක්වමින් මිලන් විමසා සිටියේ ය.

”අනේ! ඒ චිත්‍රයට හැමෝ ම කැමතියි. ලොකු මිලකුත් දෙනව. ඒත්... මං ඒක විකුණන්නෙ නැහැ. ඒකයි මං ඒක ‘My favourite oil painting’ කියල නම් කරල තියෙන්නෙ” පිළිතුරු දෙන අතර ඔහු ගැඹුරු කල්පනාවකට වැටුණේ ය.

”ඒ කියන්නේ... ඔබට ඒක ඒ තරම් ම වටිනවා කියන එක ද?” මිලන් විමසා සිටියේ චිත්‍රය පිළිබඳ තම අදහස අතහැර දමන අදහසිනි.

”මටත් වඩා... මේ සිතුවම වටින්නේ... ඒකට පෙනී හිටපු ඒ කාන්තාවට. ඒ කාන්තාව මේකට පෙනී හිටියේ... එයාගේ සැමියා හදවත් සැත්කමකට රෝහලේ ඉඳිද්දී.” චිත්‍ර ශිල්පියා එසේ කියත් ම මිලන්ගේ සිරුර සීතල වී ගියේ ය. එසේ නම්, මේ ඇය ම ද? නොඑසේ නම්, ඇය වන් වෙනත් කෙනෙක් ද? මෙය සිතුවම් කළ කාල වකවානුව දැනගන්නට හැකි නම් යැයි ඊළඟ මොහොතේ ඔහුට කල්පනා වී ය. ඔහුගේ සිතේ අදහසක් විදුලි කෙටුවේ ය. ඔහු එය ක්‍රියාත්මක කළේ ය.

”මේ සිතුවම ටිකක් පරණ යි නේද?” මිලන් විමසා සිටියේ එක එල්ලේ චිත්‍ර ශිල්පියාගේ දෑස් දෙස බලාගෙන ය. ඒ නිල් පැහැති දෑස් බෙහෙවින් පැහැදිලි ය. ඒවායේ හොරයක් බොරුවක් ගෑවිලාවත් නැත.

”ඇයි... ඔබට එහෙම පෙනෙනව ද? ලබන විසිවෙනි දා ට හරියට ම මාස හතරක් ̃ ඔහු දිගු සුසුමක් හෙළමින් පැවසී ය.

තමාගේ සැත්කම කරන ලද්දේ ද විසිවැනි දාක බව මිලන්ට මතක ය. ඔහු මාස හතරක් අතීතයට ගියේ ය. නිවැරදි ය. එසේ නම්, මෙම සිතුවම ඇඳ ඇත්තේ ද එදින ය.

”ඒ කාන්තාව එදා මගේ ගැලරි එකට ආවෙ ම චිත්‍රයකට පෙනී ඉඳල සල්ලි ටිකක් හොයා ගන්න. ඇය හිටියේ... සැත්කමට මදිවෙලා තිබුණ ෆ්‍රෑන්ක් පන්සීය හොයාගන්න බැරිව. ඒ නිසා ම යි... මම හිතා මතා ම මේ චිත්‍රය අඳින්න එදා පැය හයක් ම ගත්තෙ. ඒ නිසා... ඇයට ඇගේ ගාස්තුව විදිහට... ෆ්‍රෑන්ක් නමසීයක් ම ලැබුණා…” තමා පුදුමයට පත් කරමින් චිත්‍ර ශිල්පියා පවසන වදන්වලින් තමාගේ අනුමානය තව තවත් නිවැරදි වන්නේ යැයි මිලන්ට හැඟෙයි. එහෙත්, සිතුවම දැක දැකත් ඇඩලින් එය හඳුනා නොගත්තාක් මෙන් සිටියේ ඇයි ?

“මේ අපූරු සිතුවම දැකලා... ඒ කාන්තාව බොහොම සතුටුවෙන්න ඇති නේ ද?” මිලන් ඇඟට පතට නොදැනී උපායශීලීව විමසා සිටියේ ය.

“ඈට ඒක බලන්නවත් ඉඩක් ලැබුණෙ නැහැ. සැත්කම එදා ම කරනවා කියලා... රෝහලෙන් දැනුම් දුන්න ගමන් ඇය රෝහලට දිව්වෙ හරියට පිස්සියක් වගෙයි. ඇත්තට ම තමන්ගෙ මනුස්සයා ගැන ඇඩලින්ට තිබුණේ පුදුම විදිහෙ ආදරයක් !” චිත්‍ර ශිල්පියා අවසන් වදන් කිහිපය පැවසුවේ තරමක් හැඟීම්බරව ය.

ඇඩලින්ගේ නම ඇසීමත් සමඟ මිලන් බොහෝ සේ නොසන්සුන් වී ය.

”ඇඩලින් ? ඔබ කීවෙ ඇඩලින් කියල නේ ද?” ඔහු චිත්‍ර ශිල්පියාගේ දෙඋරින් අල්ලා සොලවමින් ප්‍රශ්න කළේ දැඩි නොඉවසිල්ලෙනි.

”ඔව්! ඇඩලින් තමයි. ඔබ ඇඩලින් කියල කෙනෙක් හඳුනනව ද?” චිත්‍ර ශිල්පියා මවිතයට පත්ව සිටියේ ය.

”ඇඩලින් කියන්නෙ.. ඇඩලින් කියන්නෙ.. මගෙ බිරිඳ. චිත්‍රයෙ ඉන්නෙ එයා කියල මම මුල ඉඳල ම අනුමාන කළත්... මට මේක තවමත් අදහගන්න බැහැ” මිලන්, චිත්‍ර ශිල්පියා බදා වැලඳගනිමින් පැවසී ය.

”එහෙනං... ඔබට දැන් හොඳට ම සනීපයි. ඒක මට මොනතරම් සතුටක් ද? ඔබේ ජීවිතය බේරගන්න ඇඩලින් කළේ පුදුම විදිහේ කැපකිරීමක්” මිලන්ගේ ග්‍රහණය තව තවත් දැඩි කරමින් ඔහු සතුටින් කියාගෙන ගියේ ය.

”ඇයි ඇඩලින් විතරක්?. ඇයි ඔබ?. ඔබ නොහිටින්න ඇයට ඒ මුදල හොයාගන්න බැරිවෙන්න තිබුණා. එහෙම වුණා නම්...එයාට ගොඩක් දුක හිතෙයි ” මිලන් අවංකව ම පැවසුවේ තම ආදරණීය බිරිඳ ඇඩලින් ගැන උපන් ආඩම්බරය මුසු ආදරයක් ද සමඟ ය.

”කෝ.. දැන් ඇඩලින් ? ̃ චිත්‍ර ශිල්පියා මිලන්ගේ සුරත අත නොහැර ම විමසන්නට වී ය.

”මේ ළඟපාත ම ඉන්නවා. දැන් අපි දෙන්න ම යමු ඇය පුදුමයට පත් කරන්න” කලක සිට දන්නා හඳුනන මිතුරන් දෙදෙනකු මෙන් සතුටින් දෑත් පටලවා ගත් ඔවුහු, ඇඩලින් සිටි දෙසට සෙමෙන් පිය නගන්නට වූ හ. 



Nissanka Rajapaksa

unread,
May 9, 2025, 11:12:18 PMMay 9
to INDRAKA group
21
රියුනෝසුකේ අකුතගාවාගේ 
බෞද්ධ කෙටිකතාවක්

- අනුවර්තනය කරුණාරත්න අමරසිංහ 

   දිනක් බුදුන් වහන්සේ දෙව්ලොව පියුම් විල් තෙර හුදකලාව සක්මන් කරමින් හුන් සේක.
   විල් දියේ වූ පුල් පියුම් මුතු සේ සුදූ පැහැයෙන් දිස්වුණි.පියුම් ගබ්හි රැඳි රන් වන් කෙසුරු කෙරෙන් නිරතුරු විහිද ගිය , කියා නිම කළ නොහැකි තරම් සුවඳින් මුළු වා තලයම පිරී ගති. 
එය දෙව් ලොව උදාසනය.
   මඳ වේලාවකට පසු පියුම් විල් තෙර නිසලව සිට ගත් බුදුන් වහන්සේ විල් දිය වසා සිටි පියුම් පත් මැද වූ විවරයක් අතරින් පාත ඇති දසුනක් සැණෙකින් දුටහ.
   නිරයේ බිම්තලය දෙව් ලොව පියුම් විලට යටින් කෙළින්ම පිහිටියෙන් සදාතන අඳුර වෙත යන තුන් මං නදියත් ඉඳිකටු කන්දේ උල් මුදුනුත් පළිඟු දිය අතරින් පැහැදිලිව පෙනුණි. 

   ඉක්බිති නිරය පත්ලෙහි අන් පව්කරුවන් සමග නිරා දුක් විඳිමින් හුන් කන්දක නම් මිනිසෙකු කෙරෙහි බුදුන් වහන්සේගේ දෑස් යොමු විය.
   මේ කන්දක වනාහි මිනී මරමින් හා ගෙවල් ගිනි තබමින් නන් පව්කම්හි යෙදී හුන් සොර දෙටුවෙකි. එහෙත් ඔහු අතින් සිදුවුණු එක් පිනක් විය. වරක් මහ වනයක් මැදින් ගමන් ගන්නා ඔහුට මග පසෙක බඩ ගා යමින් හුන් මකුළුවෙකු දක්නට ලැබුණි. 
වහා සිය පය ඔසවා ඌ පාගා මරා දැමීමට සූදානම් වූ ඔහු තුළ සැණෙකින් මෙබඳු සිතක් උපන.

'නැත. නැත. මෙතරම් කුඩා ප්‍රාණියෙකු තුළ පවා ආත්මයක් පවතින්නේමය. ඒ ගැන නොසලකමින් ඌ මරා දැමීම ලජ්ජාවට කරුණකි.'

ඉක්බිති ඔහු මකුළුවාගේ දිවි ගලවා ලීය. 
   නිරය දෙස බලන බුදුන් වහන්සේට කන්දක එදා මකුළුවාගේ දිවි ගැලවූ අයුරු සිහිපත් වුුණි. එම පිනෙහි පල පිණිස ඔහු නිරා දුකින් ගලවා ලිය හැකි වී නම් යෙහෙකැයි උන්වහන්සේ සිතූ සේක. එවේලේ පියුම් පත් මත මනරම් රිදී වන් හුයකින් දැලක් වියමින් සිටි දෙව්ලොව මකුළුවෙකු , වට පිට බලන බුදුන් වහන්සේගේ නෙත ගැටුණේ වාසනාවකට මෙනි.
   බුදුන් වහන්සේ සන්සුන් ලෙස මකුළු හුය අතින් ගත් සේක. ඉක්බිති උන් වහන්සේ එය මුතු සේ සුදු පැහැ පියුම් මැද වූ විවරය අතරින් පහළිනුත් පහළ පිහිටි නිරය පත්ලට කෙළින්ම හෙළා ලූහ.

   මෙවේලේ කන්දක , අන් පව්කරුවන්ද සමග නිරයේ බිම් තලය මත වූ ලේ විලෙහි වරක් උඩ මතුවෙමින්ද යළි යට ගිලෙමින්ද හුන්නේය.
   සැමතම පැතිර පැවැතියේ තිත්ත කළුවරකි. ඇතැම් විටක එම කළුවර අතරින් මතු වූ යමක් හදිසියේ ඇස ගැසී ගියේ වී නම් එය අනෙකක් නොව බියකරු ඉඳිකටු කන්දේ උල් මුදුන්වලින් විහිදුණු දිස්නය පමණි. අවට සැම තැනම වූයේ මිනී වළක නිහඬ බවකි. ඉඳ හිට ඇසුණු එකම දෙය පව් කරුවන් නගන සිහින් සුසුම් හඬය. මෙහි වැටී හුන් පව්කරුවන් වෙනත් නොයෙක් නිරා දුක් විඳ අපමණ වෙහෙසට පත්ව සිටි හෙයින් හඬ නැගීමේ සවිය පවා ඔවුන්ගෙන් දුරුව ගොස් තිබීම ඊට හේතු විය.
   සොර දෙටුවෙකු වුවද ලෙයින් හුස්ම හිර වෙමින්, මියෙන මැඩියෙකු මෙන් ලේ විලේ දඟලනු විනා කන්දකට අන් කළ හැකි දෙයක් නොවීය.
   එ⁣හෙත් ඔහුගේ කල එළැඹුණි. 
මෙදින අහම්බෙන් මෙන් සිය හිස ඔසවා ලේ විලට ඉහළින් ඇති අහස දෙස බැලූ කල්හි රිදී වන් මකුළු හුයක් මිනිස් ඇසට බියෙන් මෙන් නිහඬ අඳුරේ යම්තමින් දිළිසෙමින් ඉහළිනුත් ඉහළ අහසේ සිට තමා දෙසට සෙමින් සෙමින් පාත් වී එනු කන්දක දිටීය. 
   එය දැකීමෙන් හටගත් සතුට නිසා කන්දකට ඉබේම අත්පුඩි ගැසුණි. එම හුයෙහි එල්ලී එහි කෙළවර දක්වා නැග ගත්තේ වී නම් මෙම නිරයෙන් මිදීමට තමාට හැකි වනු නිසැකය. නැත සියල්ල හොඳින් සිදුවී නම් තමාට දෙව්ලොවට පිවිසීමට වුව හැකි වන්නේමය. එවිට යළි කිසි දිනක මේ ඉඳිකටු කන්දට තමා ඇදගෙන නොයනු ඇත. මේ ලේ විලෙහි තමා නොගිල්වනු ඇත.
   තම සිතෙහි මෙම සිතිවිලි පහළව ගිය සැණින් දෑතින්ම මකුළු හුය තදින් අල්ලා ගත් ඔහු තම සියලු වැර යොදා ඉහළින් ඉහළටම නගින්නට පටන් ගති. සොර දෙටුවෙකුව සිටි බැවින් දිගු කලක් තිස්සේ ඔහු එබඳු දෙයට මැනවින් හුරු පුරුදුව සිටියේය 
   එහෙත් නිරය පිහිටා ඇත්තේ දෙව්ලොව සිට සැතපුම් කොපමණ ගණනක් ඈතින්දැයි කිසිවෙක් නොදනිති. එහෙයින් කොතරම් වීරිය කළද ඔහුට පහසුවෙන් නිරයෙන් ගොඩට ඒමට නොහැකි වුණි. මඳ වේලාවක් උඩට නැගි ඔහු අවසානයේ මහත් සේ වෙහෙසට පත්ව ගියේය. ඉක්බිති ඔහුට ඉන් ඉහළට අඟලක්වත් නැග ගත නොහැකි විය. 
   අන් කිසිවක් කර ගත නොහැකිවුණු ඔහු වෙහෙස දුරු කරගනු රිසියෙන් මඳක් නැවතී මකුළු හුයේ එල්ලීගෙනම පහළිනුත් පහළට නෙත් හෙළීය. සිය සියලු වැර යොදා නැගි හෙයින් මොහොතකට පෙර තමා හුන් ලේ විල දැන් පහළ ගැඹුරෙහි වූ අඳුරේ සැඟව ගොස් තිබුණේ ඔහු විස්මවමිනි. පහළින් වූ බියකරු ඉඳිකටු කන්ද දිස්න දුන්නේ මලානික ලෙසිනි. මේ වේගයෙන්ම ඉහළ නැගුණේ නම් තමා සිතුවාටත් වඩා පහසුවෙන් නිරයෙන් එගොඩවීමට ඔහුට හැකි වනු ඇත.
   තම අතින් මකුළු හුය වෙළා ගත් කන්දක සතුටින් කුල්මත්ව සිනාසුණේ නිරයට ආ තැන් පටන් ගෙවුණු මුළු කාලය තුළම නොනැගූ තරම් හඬක් නංවමිනි.

"දිනුවා! දිනුවා!"

   එහෙත් බලවත් ආසාවෙන් යුතුව කූඹි පෙරහරක් මෙන් මකුළු හුය දිගේ ඔහු පසුපස ඉහළින් ඉහළටම නගින ගිනිය නොහැකි තරම් පව්කරුවෝ පිරිසක් සැණෙකින් ඔහුගේ ඇසට හසුවූහ. 
මෙය දුටු කෙණෙහි විස්මය හා තැතිගැන්ම නිසා මෝඩ විලාසයක් පාමින් ඇරී එල්ලි ගිය පුළුල් කටින් යුතු කන්දක මොහොතක් වේගයෙන් ඇසිපිය ගැසුවා පමණි.
   තනි ඔහු එල්ලී සිටියදී පවා සිඳී ගිය හැකි සේ පෙනුණු මේ සිහින් මකුළු හුයට මේ සියලු මිනිසුන්ගේ බර කෙසේ නම් දැරිය හැකි වේද?යම් හෙයකින් අහස මැදදී මෙය සිඳී ගියහොත් මෙතැනට ළං වීමට තමා ගත් සියලු තැත අපතේ ගොස් ඔහුටද පහතට හැරුණු හිසින් යුතුව යළි නිරයටම වැටීමට සිදුවනු ඇත.
   මේ අතර දහස් සුවහස් ගණන් පව්කරුවෝ දඟල දඟලා අඳුරු ලේ විලෙන් එළියට අවුත් දිළිසෙන සිහින් හුය දිගේ සිය සියලු වැර යොදා එක පෙළට ඉහළට නගිමින් සිටියහ. තමා වහා යමක් නොකෙළේ වී නම් මකුළු හුය දෙකඩව ගොස් ඔහු වැටී යනු නියතය. එහෙයින් කන්දක මහා හඬින් කෑ ගැසීය.

"ඒයි පව්කාරයිනේ! මේ මකුළු හුය මගේ. ඒක දිගේ උඩට එන්න තොපට අවසර දුන්නේ කවුරුන්ද? බැහැපල්ලා! බැහැපල්ලා!" 

   ඒ වන තෙක් කැඩී යන ලකුණකුදු නොපෙන්වූ මකුළු හුය එකෙණෙහිම හඬක් නගමින් කන්දක එල්ලී සිටි තැනින්ම දෙකඩව ගියේය. හඬක් නැගුමට පවා කල් නොලද ඔහු විදි හීයක් ලෙසින් පහතට හැරුණු හිසින් යුතුව අඳුර තුළට ඇදී ආවේ බඹරයක් මෙන් වේගයෙන් වටේට බමමිනි.
  ඉක්බිති දෙව්ලොව මකුළු හුය පමණක් දිළිසෙමින් සිහින්ව සඳ තරු තොර අහසේ කෙටියට එල්බෙමින් තිබුණි. 

   දෙව්ලොව පියුම් විල් තෙර සිට ගත් බුදුන් වහන්සේ සිදුවූ සියල්ල ළංව බලාගත් සේක. ගලක් ගිලෙන්නාක් මෙන් කන්දක ලේ විලෙහි පත්ලට ගිලී ගිය කල්හි උන් වහන්සේ දුක් මුසු මුහුණින් යුතුව යළිත් සක්මණෙහි යෙදෙන්නට පටන් ගත්හ. 
   තමා පමණක් ගැලවීමට සිතූ කන්දකගේ හුණු නොවුණු හදත් යළිදු ඔහු නිරයට වැටීමත් මහත් වූ දයානුකම්පාවට ලක් විය යුතු දේ ලෙසින් බුදුන් වහන්සේගේ දෑසට පෙනී යන්නට ඇති බැව් නිසැකය. එහෙත් දෙව්ලොව පියුම් විලේ පියුම්හු එබඳු දේ අරබයා කිසිදු සැලකිල්ලක් නොදැක්වූහ.
   මුතු සේ සුදු පැහැ පියුමන් බුදුන් වහන්සේගේ සිරි පතුල් වටා සැලෙනු පෙනුණි. එපියුමන් එසේ සැලෙද්දී එහි ගබ්හි වූ රන්වන් කෙසුරු කෙරෙන් විහිද ආ , කියා නිම කළ නොහැකි තරම් සුවඳින් මුළු වා තලයම පිරී ගති. 

එවේලේ දෙව්ලොව්හි මද්දහනය ළංව තිබුණි. 




Nissanka Rajapaksa

unread,
May 10, 2025, 10:04:21 PMMay 10
to INDRAKA group
22
පෑන

- ජගත් ප්‍රසන්න කුරුගම

සුන්න්දර ඇඩෙලිනා, බ්‍රෙනීටෝ පටු වීදිය දිගේ ගමන් කරමින් සිටියාය. ඇයගේ එකම අරමුණ නම් ග්‍රෙන්ච් චතුරස්‍රය අසල වෙසෙන ගේල් නම් පුද්ගලයකු හමු වීමයි. අවට පයිනස් ගසින් හා ඕක් වියනෙන් වට මාවත සරල සිත්ගන්නාසුලු එකක් වේ. අතරින් පතර තමන් ඉදිරියට හමු වන ගැහැනුන් සහ මිනිසුන් වරින් වර ඈ සමඟ සිනාසුනත් සිත අභ්‍යන්තරයෙන් නැඟී එන පීඩාවක් නිසා ඇඩෙලිනාට ඔවුන් සමඟ අවංකවම සිනා සීමට නුපුළුවන් විය. තමා මේ යන ගමන වඩාත් නිවැරදි එකක්ද නැද්ද යන්න පිළිබඳ කුකුසක් ඈ සිත තුළ ඒ මේ අතට තෙරපෙන්න විය. මේ වන විටත් මෙක්සිකෝ අහසෙහි කෙළවරකට වන්නට පායා එන සියුම් හිරු කිරණ මෙතෙක් පැවති සිසිලස මඳකට අඩු කිරීමට සමත් වුවත්, ඇඩෙලිනා තව තවත් සිය ශීත කබාය තුළ දෑත් සිර කරගත්තාය. ඉදිරියෙන් පාපැදියක නැඟ ආ තරුණයකු ඇඩෙලිනා දෙස බලාගෙන විත්, මාවත අයිනේ ඇළට නොවැටී බේරුණේ අනූනවයෙනි.

“මේ… පොඩ්ඩක් ඉන්නවද? මම ඇඩෙලිනා ලිලියානා. මම මේ පාරක් හොයනවා. උදවු කරන්න පුළුවන්ද?”

ඇඩෙලිනා රවුම් වහලක් සහිත නිවෙසක් අසල සිටි කාන්තාවකගෙන් විමසුවාය. ඇඩෙලිනා දෙස පරීක්ෂාවෙන් බැලූ කාන්තාව:

“ඔව් කියන්න. මම මාරියා… මොකද්ද මගෙන් දැනගන්න ඕනෑ?”

“24A/ 6, ග්‍රේන්ච් ඇවනියුව්. ගේල් නිකලස් මහත්මයා.”

ඇඩෙලිනා අත් බෑගය තුළින් ගත් කාඩ් පතක් මාරියා වෙත දිගු කරන ගමන් කීවාය.

“ඔය කියන නම නම් මම දන්නෙ නැහැ. ඒත් ඔය නොම්මරය තියෙන්නෙ ග්‍රෙන්ච් වීදියෙ කෙළවරේ. දිගටම ඔය ඇළ අයිනෙන් ගියාම වම් පැත්තෙ හමු වන පළවෙනි පාර. එතැන දී ඔය නොම්මරේ ගහපු ගේ හොයාගන්න ලේසියි.”

මාරියාට ස්තුති කළ ඇඩෙලිනා පඳුරුවලින් හෙබි කොස්කකෝක් ඇළ මාර්ගය දිගේ ඉදිරියට ගමන් කළාය.

මීට වසර පහකට පෙර තමා ගේල් සමඟ විවාහ වූ අයුරුත්, ඉන් වසරක් ගෙවීයෑමටත් මත්තෙන් ඔහුගෙන් වෙන් වූ අයුරුත් ඇඩෙලිනා කල්පනා කළාය. මුලදී ඉතා සුළු දේට රණ්ඩු වූ ඔවුන් ඉන් පසුව සෑම දිනකම කුමක් හෝ කරුණක් අරබයා දරුණු ලෙස කෝලාහල කරගත් අයුරු ඇයට මැවී පෙනිණි. ගත වූ වසර පහ ඉතා දීර්ඝ කාලයක් සේ ගෙවී ගියත්, ඒ කාලය තුළදී තමාගේ ජීවිතයට ඇතුළු වූ තවත් බලාපොරොත්තුවක් තමා මෙසේ මේ ගමනට පොලඹවා ඇති අයුරු ඕ සිහිපත් කළාය.

“මට ඔයාගෙ පෑන පොඩ්ඩක් දෙන්න පුළුවන්ද?” නාඳුනන තරුණයකු ඇඩෙලිනාගෙන් ඉල්ලීමක් කළේ ඈ ගේල් නිකලස්ගෙන් වෙන් වී වසරකට පසු රැකියාවක් පිණිස ‘ජේඩ් බුක්’ නම් පරණ පොත් සාප්පුවේ සේවයට ආ තෙවැනි දිනයේය. කිසියම් සටහන් ගොන්නක් පෙරළමින් සිටි ඔහු ඇඩෙලිනාගෙන් මෙසේ පෑනක් ඉල්ලා සිටියේ මාර්තුවක අවසන් සතියේ වැසි දිනකය.

වහා සිය කලිසම් සාක්කුවට අත යැවූ ඕ නිල් පෑනක් ගෙන ඔහු අත තැබීය.

“ස්තුතියි. මම එඩියුරෝ ඩීගෝ. කවුරුත් මට කතා කරන්නෙ ඩීගෝ කියල.”

ඔහු ඇයට තමා හඳුන්වා දුන්නේ එසේය.

එතැන් පටන් ඩීගෝ නිතර නිතර ඒ පොත් සාප්පුවට පැමිණියේය. ඇතැම් දිනෙක පරණ පොතක් මිල දී ගැනීමටත්, තවත් දිනක වෙනත් කෙනකු හට පොතක් යැවීම පිණිසත් පැමිණි මේ ගමන කිසිම හේතුවක් නැතිව පැමිණෙන තැනට වැටුණේ ඔහුගේ සිතෙහි ඇඩෙලිනා කෙරෙහි අමුතු හැඟීමක් හටගත් දින සිටය.

එය මැයි මාසයක එක් ශනිදා සැඳෑවක් විය. ඇඩෙලිනා පොත් සාප්පුවේ සිය රාජකාරිය නිමා කර බියුලවා වීදිය දිගේ ගමන් කරමින් සිටියාය. හදිසියේම ඈ පසුපසින් කිසියම් කෙනකු පැමිණෙන බව හැඟුණු බැවින් ඕ ආපසු හැරී බැලුවාය. ඩීගෝ සිනා මුසු මුහුණින් ඈ අසලට ළං විය.

“ඩීගෝ! ඔයා කොහේද මේ?”

“මමත් මේ ළඟට යන ගමන්. ඔයා කැමති නම් අපි දෙන්නට මෙහෙම කතා කර කර යන්න පුළුවන්.”

“ඔව්. ඇත්ත වශයෙන්ම.” ඇඩෙලිනා පිළිතුරු දුන්නාය.

එදා සවස බෙහෙවින් සුන්දර වූ සන්ධ්‍යාවක් විය. මෙක්සිකෝ අහසෙහි තරු එක දෙක පායා එද්දී ඇඩෙලිනා සහ ඩීගෝ අවන්හලක උණුසුම් කෝපි පානය කරමින් පසු වූහ. අහසේ බොහෝ තරු පායා රාත්‍රිය තරුණ වෙද්දී ඔවුහු ජෑස් සංගීතයට අනුව ආලිංගන නර්තනයක යෙදී සිටියහ. අහසේ තරු එකින් එක බැස යන සීතල හිමිදිරියේ ඔවුන් සැබවින්ම සිටියේ තමාගේ සයනයේද නැත්නම් අනෙකාගේ සයනයේද යන්න ඔවුන්ටම අපැහැදිලි විය. ඕ සෙමෙන් සිය දිගු ඇඟිලි තුඩුවලින් ඔහුගේ වම්අතේ පහළට වන්නට තිබුණු ඇපල් ගෙඩියක් තරම් වන උපන් ලපය සියුම්ව පිරිමැද්දාය. ඒ විවේකි ඉරිදා සවස්‍ යාමය එළෙඹෙද්දී ඔවුහු පෙම්වතුන් බවට පත් වී සිටියහ.

කොස්කකෝක් ඇළ අයිනෙන් වැටී ඇති මාර්ගයේ ගමන් ගත් ඇඩෙලිනා එතැනින් ග්‍රේන්ච් මාවතට අවතීර්ණ වූවාය. ඒ මාවතේ එක් එක් නිවෙස්වලට අදාළ අංක ඉතා පැහැදිලි ලෙස සෑම නිවෙසකම ප්‍රදර්ශනය කොට තිබිණි. නිවාස දෙක තුනක් පසු කරත්ම වම් පසින් වු නිවෙසක සවි කර ඇති ‘24 A/6’ අංකය ඇයට සොයාගත හැකි විය. නිවෙසෙහි දොරටුව වෙත ළං වූ ඇය සෙමෙන් එයට තට්ටු කළාය.

කලින් දින බොහෝ රෑ වන තුරු මිතුරන් සමඟ කතාබහ කරමින් සිටි තරුණ ගේල් නිකලස් පිටතින් ඇසුණු ශබ්දයෙන් වහා නින්දෙන් අවදි විය. එසේම කිසිවකු තම දොරට තට්ටු කරන බවක් ඔහුට සැණින් අවබෝධ විය. සීරුවෙන් නැඟිට කමීසයක් ඇඟ ලාගත් ගේල් ඉදිරි දොර විවෘත කළේය.

විස්මයකි! එය කිසිසේත්ම ගේල් කිසිදා අපේක්ෂා නොකළ හමු වීමක් විය. මීට වසර පහකට පමණ ඉහත තමා හැර ගිය තම බිරිය දැන් ඔහු ඉදිරියේ සිටගෙන සිටියි.

“ඇඩෙලිනා, ඔයා?”

ඔහුට කීමට ලැබුණේ එපමණකි. ඇඩෙලිනා අනාරාධිතවම නිවෙසට ඇතුළු වී සුවපහසු සෝපානයේ හිඳගත්තාය.

“ගේල්… මම ආවෙ ගොඩක් වැදගත් වැඩකට. මේකට ඔයාගෙ උදවු අවශ්‍යමයි.”

“උදවුවක්…? මගෙන්….?”

“ඔව් ඔයාගෙන්. ඒක අපි දෙන්නගෙම ජීවිතවලට ගොඩක් වැදගත් දෙයක්…”

ඇය පවසන්න හදන කරුණ ගේල්ට නොවැටහිණි. ඔහු තමා හැරගිය බිරිය වසර පහකට පසු හදිසියේම පැමිණ තමාගෙන් ඉල්ලා සිටින උදවුව කුමක්දැයි ගේල් කල්පනා කරන්නට විය. ඇඩෙලිනා අසුනෙහි හරිබරිගැසී ඉතා උස් ශරීරයකින් හෙබි ගේල් දෙස බැලුවේ හිස අංශක අනූවක් පමණ ඉහළට ඔසවාගෙනය.

“ගේල්… අපි කෙළින්ම කාරණේට බහිමු. ඔයා දන්නවනෙ අපි දෙන්න අවුරුදු ගාණකට කලින් වෙන් වුණත් තාම දික්කසාද වෙලා නෑ. ඒ නිසා අපි දෙන්නගෙන් කාටවත් ආයෙ විවාහ වෙන්නත් බෑ. මට දැන් වෙන සම්බන්ධයක් තියෙනවා. එයාගෙ නම ඩීගෝ. අපි විවාහ වෙන්න ඉන්නෙ. ඒත් ඊට කලින් මට ඔයාගෙන් නීත්‍යනුකූලව වෙන් වෙන්න ඕනෑ…”

ඇඩෙලිනා සිය ගමන් බෑගයෙන් කළු පැහැ ෆයිල් කවරයක් එළියට ගන්නා අයුරු ගේල් දුටුවේය. ඉන්පසු ඕ එය විවෘත කොට පත්‍රිකා දෙකක් අතට ගත්තාය.

“මේ තියෙන්නෙ අපේ දික්කසාද ලියකියවිලි. මගේ නීතිඥයා මේ සේරම හදල තියෙන්නෙ. දැන් තියෙන්නෙ මේකට ඔයාගෙ අත්සන යොදන්න විතරයි. කරුණා කරලා…”

ඇඩෙලිනා පත්‍රිකා කිහිපය ගේල් වෙත දිගු කළේ අකාරුණික අයුරිනි. සැබවින්ම මේ අවස්ථාවේ ගේල්ට ඇයගේ යෝජනාවට විරුද්ධ වීමට කිසිම හේතුවක් නොවීය. අවුරුදු පහක් තිස්සෙ ඇඩෙලිනාගෙන් වෙන් වී හුදෙකලා ජීවිතයකට හුරු වී සිටි ගේල් නිකලස්ට මේ සිදුවීම අමුතු වේදනාකාරි කරුණක් නොවීය.

“කෝ දෙන්න. මම අත්සන් කරන්නම්. පෑනක් තියේද?”

ඇඩෙලිනා තම අත්බෑගය අවුස්සා පෑනක් සෙවූමුත් පෑනක් එහි නොවිණි. වටපිට බැලූ ඕ ගේල්ගෙන් ඒ පිළිබඳ විමසීය.

“ඔයා ළඟ නැද්ද පෑනක්..?”

“ඉන්න බලන්න…”

කාමර දෙකක කුඩා නිවෙසක් වූ ගේල්ගේ ගෙදර සෑම අස්සක් මුල්ලක් නෑරම පීරා සෙවූමුත් එහි පෑනක් නොවීය. කිසිත් කරකියාගත නොහැකි වූ ඔවුහු අවසන තීරණයකට එළඹුණහ.

“හරි. අපි පෑනක් ගනිමු. නැත්නම් කාගෙන් හරි ඉල්ලා ගනිමු. ඒක පොඩි වැඩක්.”

ගේල් සහ ඇඩෙලිනා නිවෙසින් එළියට විත්, ග්‍රේන්ච් මාවතින් නැවතත් කොස්කකෝක් ඇළ අයින දිගේ වූ මාර්ගයට පිවිසුණහ. කාගෙන් හෝ පෑනක් ඉල්ලාගැනීම හෝ අතරමඟ ඇති වෙළෙඳසලකින් පෑනක් මිල දී ගැනීම ඔවුන්ගේ අරමුණ විය. අතරමඟදී මුණගැසුණ හත් අට දෙනකුගෙන් විමසූ මුත් ඒ කිසිවකු ළඟ පෑනක් නොවීය.

“හරි වැඩේ නේ! දැන් මොකද කරන්නෙ? බලමු මේ ළඟ කඩවල් දෙක-තුනකුත් තියෙනවා…”

කුසගින්නත්, ගමන් මහන්සියත් යන දෙකම මුහුණින් පිළිබිඹු වන ඇඩෙලිනා දෙස බලා ගෝල් පැවසුවේ ඇය අස්වසාලන අටියෙනි. කෙසේ වෙතත් ඇඩෙලිනා තවමත් ඔහුගේ නීත්‍යනුකූල බිරියයි. ඒ නිසා අවසන් දින කිහිපයේ හෝ ඇයට යම් සහනයක් දිය යුතු යැයි ගේල් සිතුවේය.

“ආ… අර තියෙන්නෙ කඩයක්. ඉන්න මම පෑනක් අරන් එන්නම්.”

එසේ කී ඇඩෙලිනා සැණින් මාර්ගය පාර පැන්නාය. එකණෙහිම අධික වේගයෙන් ආ යතුරුපැදියක ඇය ගැටෙන අයුරුත්, ඉන්පසු යතුරුපැදිකරුවාත් ඇඩෙලිනාත් එක පොදියට පෙරළී ඇළ අයිනට විසි වන අයුරුත් සිහිනයක් සේ ගේල්ට දක්නට ලැබිණි. සියල්ල සිදු වීමට ගත වූයේ තප්පර පහකටත් අඩු කාලයකි.

දින දෙකකට පසු සිහිය ලැබෙන විට ඇඩෙලිනා සිටියේ මෙඩිලෑන්ඩ් රෝහලෙහි පස්වැනි වාට්ටුවේ සය වැනි ඇඳ මතය. වම් පාදයෙහි ස්ථාන හතරකින් අස්ථි බිඳී ඇති බවත්, ඇගේ හිස මාර්ගයෙහි ගැටීම නිසා වූ කම්පනයෙන් දින දෙකක් සිහිසුන්ව සිටි බවත් හෙදියක විසින් ඇයට දන්වා සිටින ලද්දේ සිහිය ලබා පැයකට කිහිපයකට පසුවය.

“ඇඩෙලිනා මහත්මිය, ඔයාට තවම කතා කරන්න හොඳ නෑ. සති කිහිපයක් ඔයාට හොස්පිටල් එකේ ඉන්න වෙයි. ඔයාගේ එමර්ජන්සි ඉන්ෆෝම් කාඩ් එකේ තිබුණ විදියට අපි එඩියුරෝ ඩීගෝ කියන අංකයට දැනුම් දීමක් කළා. එහෙත් මේ වන තුරු ඔහු ආවෙ නෑ…”

හෙදියගේ වචන ඇඩෙලිනාට පැහැදිලිව ඇසුණ මුත් එයට පිළිවදන් දෙන්න තරම් සන්සුන් බවක් ඇයට නොතිබිණි. හිසෙන් නැඟී එන වේදනාව පරයා කකුලෙන් දැනෙන වේදනාව වැඩි විය. ඊටත් වඩා දින දෙකකට පෙර තමාට වූ මේ විපත පිළිබඳ දැන දැනත් ඩීගෝ තමා බැලීමට නොපැමිණීම ගැන සිතට දැනෙන වේදනාව තවත් වැඩි විය.

“කමක් නෑ… එයාට වැඩ ඇති…”

තම පෙම්වතා වූ ඩීගෝට තමා මුහුණ පෑ අනතුර ගැන කියා ඇඩෙලිනා පණිවිඩයක් තැබීය. ඇතැම් විට තමාගේ වම් පාදය යළිත් යථා තත්ත්වයට පත් කරගැනීම අවිනිශ්චිත බවද ඕ එහි සඳහන් කළාය. ඊට පිළිතුරු වශයෙන් ඩීගෝ ‘ටේක් කෙයා’ යන වචන දෙක පමණක් ලියා තිබිණි.

පසුදින උදයේ ගේල් පැමිණ ඇඩෙලිනාගේ යහන අසල පුටුවක හිඳගත්තාය. හිසට සිදු වූ අනතුර හේතුවෙන් ඈ සමඟ කතා කර වෙහෙසට පත් නොකරන ලෙස රෝහල් වෛද්‍යවරයා ගේල්ට පවසා තිබිණි. ඇයගේ තත්ත්වය කෙමෙන් යහපත් අතට හැරෙන බව දත් ගේල් සෙමෙන් ඇයගේ අත අල්ලා නැවතත් සවස පැමිණෙන බව පවසා නික්ම ගියේය. මෙසේ තවත් දින දෙකක් ගෙවී ගියද ඩීගෝ තම පෙම්වතිය වූ ඇඩෙලිනා බැලීමට රෝහලට පැමිණියේ නැත. එහෙත් ගේල් සෑම දිනකම දවසට දෙවරක්වත් විත් ඇඩෙලිනාගේ සුවදුක් විමසීමට උනන්දු විය. පස්වැනි දිනය වන විට ඇඩෙලිනා සාමාන්‍ය පරිදි කථා කිරීමට රෝහල්හාර වෛද්‍යවරු අවසර දුන්හ. එහෙත් පාදයෙහි ඇති අස්ථී ආබාධය සුව වීමට මෙතැන් සිට තවත් මාස තුන හතරක් ගත වන බවත්, ඇයට සතියකින් පසු රෝහලෙන් බැහැර වී නිවෙසේ සිට ප්‍රතිකාර සඳහා යොමු විය හැකි බවත් ඔවුන් වැඩිදුරටත් කියා තිබිණි. ඒ අවසරයෙන් ඇඩෙලිනා, ඩීගෝගේ දුරකතනයට ඇමතුමක් ගත්‍තේ ඔහු තමා බැලීමට නොපැමිණීම ගැන ඔහුට දොස් තැබීමටය. එහෙත් ඔහුගේ දුරකතනය ක්‍රියා විරහිත කොට තිබිණි. දෙතුන් වරක් උත්සාහ කළ ඇය අවසානයෙහි ඩීගෝ නවාතැන් ගෙන සිටි නිවෙසේ පාලිකාව ඇමතුවාය. අනෙක් පසින් වයසක නිවෙස් හිමිකාරියගේ කටහඩ ඇසිණි.

“හායි! මම ඇඩෙලිනා ලිලියානා. මට කරුණා කරලා ඔබේ නිවෙසේ කුලියට සිටින ඩීගෝ මහතාට කතා කරන්න පුළුවන්ද? මම එයාගෙ ෆෝන් එකට ගත්තා. ඒත් ඒක වැඩ නෑ…”

“කාට කිවුවා? ඩීගෝට…?”

“ඔව්. එඩියුරෝ ඩීගෝ මහත්තයා.”

“හපෝ මතක් කරන්න එපා! ඒ මිනිහ දැන් දවස් දෙකකට විතර කලින් කාටත් හොරෙන් මෙහෙන් ගිහිල්ලා. මට මාස දෙකක සල්ලි දුන්නෙත් නෑ. මම එයා වැඩ කරන තැනටත් ගියා. එහෙනුත් අස් වෙලා තමයි මිනිහ අතුරුදන් වෙලා තියෙන්නෙ…”

නිවෙස් හිමි කාන්තාව එපමණක් පවසා ඇමතුම විසන්ධි කළාය. ඇඩෙලිනා කිසිවක් සිතාගත නොහැකිව රෝහල් සිවිලිම දෙස බලාගත්තාය. සිදුව ඇති දෙය සහ ඩීගෝගේ නියම ස්වරූපය ඇයට තේරුම් යමින් තිබිණි. ඇඳට ඉහළින් සවි කර ඇති පංකාවෙහි පෙති තව සුළු මොහොතකින් ඉන් මිදී අවට අවකාශයට පාවී යන්න සැරසෙන්නාක් මෙන් ඇයට පෙනේ. අධික වෙහෙසටත්, කම්පනයකටත්, කෝපයටත් පත් ඇඩෙලිනා දෑස පියාගන්න සැරසෙන විටම අසලින් ඇසුණු අඩි ශබ්දයකින් නැවත දෑස් විවර කළාය. රෝහල් සයනය අසල සිනා මුසු මුහුණකින් යුත් ගේල් කරුණාවන්ත ලෙස තමා දෙස බලා සිටින බව ඇයට පෙනිණි. ඇඩෙලිනා සමඟ දැන් කතාබහ කළ හැකි බව හෙදියන් ගේල්ට දන්වා තිබේ. දෑස් හළ ඇඩෙලිනා ගේල් දෙසට හැරී යමක් පවසන්න උත්සාහ කරද්දීම සිය දෙතොල් මත ඇඟිල්ලක් තැබූ ගේල් ඇය නිහඬ කළේය.

“ඉන්න. ඔයාට තවම හොඳ නෑ… ඒත් මේකනේ ඔයා ඉල්ලන්න හැදුවෙ..?”

පවසා සාක්කුවෙන් පෑනක් රැගෙන එය ඇඩෙලිනා දෙසට දිගු කළේය.

“දැන් හරි. කෝ අර ලියකියවිලි ටික..?”

තවදුරටත් තමාට පෑනක් අවශ්‍ය නොවන බව කෑගසා කියන්න ඕනෑ වුණත් ගුප්ත අදෘශ්‍යමාන කිසිවකු හෝ තමාගේ උගුර සිර කරගෙන ඒ වචන යළිත් සිරුර තුළට අදිමින් සිටින අයුරක් ඇඩෙලිනාට දැනෙන්න විය. ඕ දෑස් පියාගත්තාය.

***

ඉන් මාස කිහිපයකට පසු කොස්කකෝක් ඇළ අයිනෙන් වැටුණ මාර්ගයෙහි ගමන් ගන්නා බන්ධනාගාර රථයකි. එහි උන් එක් අතක ඇපල් ගෙඩියක් තරමේ උපන් ලපයක් ඇති රැඳවියකුට දක්නට ලැබුණේ රෝද පුටුවක හිඳගත් රූමත් කාන්තාවක සහ එය තල්ලු කරගෙන යන උස, තැන්පත්, ප්‍රසන්න පුද්ගලයකුගේ දසුනකි. රැඳවියාට දිගු සුසුමක් හෙළිණි.


Nissanka Rajapaksa

unread,
May 11, 2025, 7:56:17 PMMay 11
to INDRAKA group
23
කොක්කු 

කොරියානු ජාතික Hwang Sun-Won විසින් රචිත Cranes කෙටිකතාවේ පරිවර්තනයකි 
පරිවර්තනය – එම්. එම්. පාලිත 
මහින්ද මුණසිංහ 

රත් සමයේ දීප්තිමත් අහසට යට දේශ සීමාවේ උස් තැනක පිහිටි උතුරු ගම්මානය හොඳින් දර්ශනය විය. පාළු ගොවි ගෙදර අපිරිසිදු පොළව මත කැකිරි ගෙඩි දෙකක් එක ළඟ වැටී තිබුණි. විටින්විට එතැන පසුකර යන ගමේ වැඩිහිටියන් තම තමන්ගේ උණ බට දුම්කෝව නිවා දැමූ අතර ළමුන් ද ටික දුරක් ගොස් ආපසු හැරී ගියහ. ඔවුන්ගේ මුහුණු සැකමුසු බියෙන් පිරී තිබුණි.

යුද්ධයෙන් විනාශ වූ ගම්මානයේ ශේෂ වූ සලකුණු කිහිපයක් දකින්නට ලැබුණු මුත්, සොන්ග්සම් අද දුටුවේ ළමා කාලයේදී තිබූ ගම නොවේ. එදවස ගම පිටුපස කඳුකරයේ පාමුල වූ චෙස්නට් වත්තේ චෙස්නට් ගසකට තමා නැඟි අවස්ථාවේදී එහි ඈත කෙළවරක සිට “නරක කොල්ලා, උඹ ආයිත් මගේ චෙස්නට් ගහට නඟිනවද!” යනුවෙන් කෙවිටක් අතැතිව මහලු මිනිසකු කෑගැසූ අයුරු සොන්ග්සම් ට සිහිපත් විය.

වැඩිහිටි ගම්වැසියන් කිහිපදෙනා අතරේ වයසක මිනිසා නොදුටු නිසා, ඔහු මිය යන්නට ඇතැයි සිතමින් ඒ ගසේම කඳ අල්ලාගෙන සොන්ග්සම් මඳ වේලාවක් නිල් අහස දෙස බලා සිටියේ ය. වියළී ගිය සමහර චෙස්නට් පොකුරු ඉබේටම පිපිරී බිම වැටුණි.

මහජන සාම පොලිස් කාර්යාලයක් බවට පත්කරන ලද ගොවි ගෙදර ඉදිරිපිට තරුණයකු දෑත් ගැට ගසනු ලැබ සිටියේ ය. ආගන්තුකයකු බව පෙනුණ නිසා, ඔහු වෙත සමිපවී බැලූ සොන්ග්සම් පුදුමයට පත් විය. ඒ අන් කිසිවක් නිසා නොව, එම තරුණයා ඔහුගේ ළමා කාලයේ සෙල්ලම් සගයා වූ ටොක්චේ නිසා ය.

තමා සමඟ චොන්ටේ සිට පැමිණි පොලිස් නිලධාරියාගෙන් සොන්ග්සම් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියේය. සිරකරුවා කොමියුනිස්ට් ගොවි ලීගයේ උප සභාපති වූ අතර, ඔහුගේම නිවෙසේ සැඟවී සිටියදී අල්ලා ගෙනවිත් ඇති බව සොන්ග්සම් දැන ගත්තේය.

සොන්ග්සම් අපවිත්‍ර වූ බිම වාඩි වී දුම්වැටියක් දල්වා ගත්තේ ය. චොන්ඩාන් වෙත ටොක්-චේ රැගෙන යාමට පැවරී තිබුණේ සාම පොලිස් නිලධාරියකු වෙත ය. මඳ වේලාවකට පසු, සොන්ග්සම් පළමු දුම්වැටිය දල්වාගෙන නැඟී සිටියේ ය.

“මං එයාව එක්ක යන්නම්.”

සොන්ග්සම් දෙස බැලීම ටොක්-චේ ප්‍රතික්ෂේප කළේ, ඔහුගේ මුහුණ වසන් කරගෙන ය. ඔවුහු ගමෙන් පිටවූහ. සොන්ග්සම් දිගටම දුම්පානය කළ නමුත් දුම්කොළවල රසයක් ඔහුට දැනුණේ නැත. ඔහු එකදිගටම දුම්වැටිය උරා දුම් කැරලි පිට කළේ ය. එයින් දුම් උගුරක් ඇදීමට ටොක්-චේ වෙතත් ආශාවක් ඇතිවිය හැකි බව හදිසියේ ම ඔහුට සිතුණි. වැඩිහිටියන්ට නොපෙනෙන සේ තාප්පය පිටුපස සැඟවී වියළන ලද කැකිරි කොළ දුම්වැටි බෙදාහදා ගත් දවස් ගැන ඔහුගේ මතකයට නැඟුණි. නමුත් අද මෙවැනි කෙනෙකු හට තමා දුම්වැටියක් පිරිනමන්නේ කෙසේදැයි ඔහු කල්පනා කළේ ය.

කෙවිටක් අතැතිව සිටින මහලු මිනිසාගේ වත්තෙන් චෙස්නට් ටිකක් සොරකම් කිරීමට කුඩා කාලයේදී වරක් ඔහු ටොක්-චේ සමඟ එහි ගියේ ය. එවර ගසට නැඟීමේ වාරය සොන්ග්සම්ගේ විය. එකවරම මහලු මිනිසා පෙනී සිටියේ ය. ලිස්සා බිමට වැටුණු සොන්ග්සම්ගේ පසුපස පෙදෙසේ චෙස්නට් කටු ඇනුණි. නමුත් ඔහු දිගටම දිව ගියේ ය. මහලු මිනිසාට ඔවුන් අබිබවා යා නොහැකි ආරක්ෂිත ස්ථානයකට ළඟා වූ පසු ඔහු තම පසුපස ටොක්-චේ වෙත දක්වා සිටියේ ය. ඒ කටු උදුරා දැමීමේදී ඔහුගේ දෑස්වලින් නොනවත්වා කඳුළු ගලන තරමට වේදනාවක් ඇති විය. ටොක්-චේ තම සාක්කුවෙන් චෙස්නට් මිටක් ගෙන සොන්ග්සම් වෙත දිගු කළේය.

මොහොතකට පෙර තමා දැල්වූ දුම්වැටිය ඉවතට වීසි කළ සොන්ග්සම්, ඉන්පසු ටොක්-චේ සමඟ යන ගමනේ දී තවත් දුම්වැටියක් පත්තු නොකිරීමට ඉටා ගත්තේ ය. ඔවුහු කඳුකරයේ දූර්ග මාර්ගය වෙත ළඟා වූහ. නිදහස ලැබීමට වසර දෙකකට පෙර කාලය දක්වා ටොක්-චේ සමඟ ඔහු එළදෙනුන් වෙනුවෙන් තණකොළ කැපීමට පැමිණියේ එතැනට ය. දේශසීමාවට දකුණින් පිහිටි, චොන්තේ ආසන්නයේ ස්ථානයක් වෙත යාමට සොන්ග්සම් හට සිදුවී තිබුණි. හදිසියේ ම තමා තුළ හටගත් කෝපය පාලනය කරගන්නට සොන්ග්සම් ට නොහැකි විය.

“ඉතින් උඹ කී දෙනෙක් මැරුවද?” ඔහු කෑගැසුවේ ය.

පළමු වතාවට, ටොක්-චේ ක්ෂණිකවම ඔහු දෙස බැල්මක් හෙළා, පසුව අහක බලා ගත්තේ ය.

“උඹ කී දෙනෙක් මැරුවද?” ඔහු නැවතත් විමසුවේ ය.

ටොක්-චේ නැවත වරක් ඔහු දෙස හැරී බැලී ය. ඔහු, දෙතොලින් සිනහව සිරකරගෙන රවාගෙන බලා සිටියේ ය.

“ඉතින්..එහෙනම් උඹට හුඟාක් මරා දාන්න පුළුවන් වුණාද…. ඈ?”

බාධාවක් ඉවත් වූවාක් මෙන් ඔහුගේ හදවත අභ්‍යන්තරය පැහැදිලි වන බවක් සොන්ග්සම් හට දැනුණි.

“උඹ කොමියුනිස්ට් ලීගයේ උප සභාපති නම්, උඹ පැනලා ගියෙ නැත්තේ ඇයි? උඹ රහසිගත මෙහෙයුමකට සම්බන්ධ වෙලා ඉන්න ඇති.” ටොක්-චේ පිළිතුරු දුන්නේ නැත.

“කතා කරපන්, උඹේ මෙහෙවර මොකක්ද?” ටොක්-චේ දිගටම ඇවිද ගියේ ය.

ටොක්-චේ යමක් සඟවන්නේ යැයි, සොන්ග්සම් සිතුවේ ය. ඔහු දෙස හොඳින් බැලීමට අවශ්‍ය වූ නමුත් ටොක්-චේ ඔහුගේ සඟවා ගත් මුහුණ හැරවූයේ නැත.

ඉණෙහි වූ රිවෝල්වරය අතගාමින්, සොන්ග්සම් මෙසේ පවසා සිටියේ ය:

“නිදහසට කාරණා අවශ්‍ය නැහැ. කොහොම වුණත් උඹට වෙඩි තියන්න මට පුළුවන්. ඇයි උඹ දැන් මෙතැනදී ඇත්ත කියන්නෙ නැත්තේ?”

“මං නිදහසට කිසිම කරුණක් කියන්න යන්නේ නැහැ. එයාලා මාව ලීගයේ උප සභාපති කළේ මං දුප්පත්ම කෙනෙක් නිසාත් මං මහන්සි වෙලා වැඩ කරන ගොවියෙක් නිසාත්. ඒක මරණයට සුදුසු අපරාධයක් නම් එහෙම වුණා වේ. මං තාමත් ඉස්සර හිටපු විදිහමයි. මට කරන්න පුළුවන් එකම දේ පස් කොටන එක විතරයි.” මඳ විරාමයකින් පසු ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ය.

“මගේ ගෙදර වයසක මනුස්සයෙක් ඇඳේ. එයා හය මාසෙක විතර ඉඳලා අසනීප වෙලා ඉන්නේ.”

ටොක්-චේගේ වැන්දඹු වූ තාත්තා, තම පුතා වෙනුවෙන්ම ජීවත් වෙමින් වෙහෙස මහන්සි වී වැඩ කළ දුප්පත් ගොවියකු විය. මීට අවුරුදු හතකට පෙර, පිට කොන්දේ ආබාධයකට ගොදුරු වූ ඔහු චර්ම රෝගයකින් ද පීඩා විඳිමින් සිටියේය.

“උඹ කසාද බැඳල ද?”

“ඔව්,” ටොක්-චේ සුළු වෙලාවකට පසුව පිළිතුරු දුන්නේ ය.

“කවුද?”

“ශෝටි.”

“ශෝටි ව?” හරි අපූරුයිනේ !

ඇය පොළොවේ විශාලත්වය දැන සිටිය ද අහසේ උස නොදන්නා මිටි, තරබාරු කාන්තාවක වූවා ය. කුඩා අවදියේ ඔහු සහ ටොක්-චේ ඇයව සමච්චලයට ලක් කර අඬවන්නට පුරුදුවී සිටියහ. එසේ වුවත් පසුව ටොක්-චේ ඇයව විවාහ කරගෙන ඇත.

“ළමයි කී දෙනෙක් ඉන්නවද ?”

“පළමු ළමයා ලැබෙන්නේ සරත් සෘතුවෙ දී කියලා එයා කිව්වා.”

මහහඬින් පිටවූ සිනහව පාලනය කරගැනීමට සොන්ග්සම්හට අපහසු විය. ටොක්-චේට දරුවන් කී දෙනෙක් සිටීදැයි ඔහු විමසුව ද, විශාල බඩක් සහිතව ඇය වාඩි වී සිටින ආකාරයට සිනාසීමට ඔහුට වුවමනා නොවී ය. නමුත් මෙය එවැනි කාරණාවලට සිනාසීමට හෝ විහිළු කිරීමට කාලයක් නොවන බව ඔහුට වැටහුණි.

“කොහොම හරි, උඹ පැනලා නොගිය එක පුදුමයි.”

“මම පැනලා යන්න හැදුවා. උන් කිව්වේ දකුණ ආක්‍රමණය කළාට පස්සේ කිසිම මිනිහෙක් ඉතිරි කරන්නෙ නෑ, කියලයි. ඒ නිසා දාහතත්, හතළිහත් අතර පිරිමි බලහත්කාරයෙන් උතුරට අරගෙන ගියා. තාත්තව මගේ පිට උඩ තියාගෙන හරි මමත් පැනලා යන්න හැදුවා. ඒත්, තාත්තා එපා කිව්වා. අස්වැන්න නෙළන්න සූදානම් වෙලාවේ ගොවියො ඉඩම් අතහැරලා යන්නේ කොහොමද? එයා ගොවිපළේම වයසට ගියා. ඊට පස්සේ පවුලේ මුක්කුව සහ ප්‍රධානියා වුණේ මමයි. මට ඕන වුණේ එයාගෙ අන්තිම මොහොතෙ එයා ළඟ ඉන්න. එයාගෙ ඇස් දෙක මගේ අතින්ම වහන්න. අනික අපි වගේ මහපොළොවත් එක්ක ජීවත් වෙන ගොවියො… ඉතින් කොහෙ යන්නද?”

පසුගිය ජුනි මාසයේදී සොන්ග්සම් හට ද පලා යාමට සිදු විය. එක් රාත්‍රියක ඔහු තම පියාට පෞද්ගලිකව ඒ ප්‍රවෘත්තිය පවසා සිටියේ ය. ඔහුගේ තාත්තා පැවසුවේ ද එම දේමය! සියලු වැඩ අත්හැර දමා ගොවියකුට යා හැක්කේ කොහේටද? එහෙත් සොන්ග්සාම් ඔහු තනිකර දමා ගියේ ය. දකුණේ නොයෙක් මංමාවත්වල සැරිසැරුවේය. අත්හැර දමා පැමිණි සියල්ලම, ඔහුගේ මහලු දෙමාපියන් සහ කුඩා දරුවන් පිළිබඳ සිතුවිලි සොන්ග්සම් තුළ හොල්මන් කළේය. වාසනාවකට මෙන්, ඔහුගේ පවුල එදා මෙන්ම අදත් ආරක්ෂිතව සිටියහ.

ඔවුහු කඳු වැටිය හරහා ගමන් කළ හ. එවර සොන්ග්සම් ඔහුගේ මුහුණ ආවරණය කරගෙන ඇවිද ගියේය. සරත් සෘතුවේ හිරු ඔහුගේ නළල උණුසුම් කළේය. මෙය අස්වැන්න නෙළීමට කදිම දිනයක් බව ඔහු සිතුවේය. ඔවුන් කඳු පාමුලට ළඟා වූ විට, සොන්ග්සම් දෙගිඩියාවෙන් යුතුව නතර විය. ඔහු කෙත්යාය මැද දී සුදු ඇඳුම් ඇඳගත් මිනිසුන් මෙන් නැමී සිටින කොකුන් සමූහයක් දුටුවේය. එය දේශසීමාව ඔස්සේ වන නිදහස් කලාපය විය. මිනිසුන් සියලු දෙනාම ගම හැරගියත් කොක්කු තවමත් මෙහි වාසය කරති.

වරක්, වයස අවුරුදු දොළහක පමණ කාලයේදී සොන්ග්සාම් සහ ටොක්-වේ, වැඩිහිටියන්ගේ අනුදැනුමකින් තොරව මෙහි උගුලක් අටවා, ටැන්ජොං කොකෙක් අල්ලා ගත්හ. ඔවුහු කොකාගේ, අත්තටු එකතු කර ගැටගසා තබා, දිනපතා ඌ බලන්නට ගොස්, උගේ බෙල්ල අත ගාමින් පිට මත නැඟ සිටියෝ ය. ඒ අතර දිනක් අසල්වැසියන් රහසින් මුමුණන හඬක් ඔවුනට ඇසිණි. ඒ, සාම්පල හෝ වෙනත් දෙයකට කොකුන් අල්ලා ගැනීමට ආණ්ඩුකාර ජෙනරාල් කාර්යාලයේ අවසර පත්‍රයක් සමඟ යමකු සෝල් නුවර සිට පැමිණ ඇති බව ය.

ඉන්පසුව ළමුන් දෙදෙන කෙත්යායට ගියහ. ඔවුන් සොයා දඬුවම් කරනු ඇතැයි යන්න තවදුරටත් බැරෑරුම් කාරණයක් ලෙස සැලකිය යුතු නොවී ය. ඔවුන් කනස්සල්ලට පත් වූයේ අල්ලාගත් කොකාගේ ඉරණම ගැන ය. මොහොතක ප්‍රමාදයකින් තොරව, දිගටම හුස්ම හිරවී සිටිනු ඇතැයි සිතා, ඔවුහු කොකාගේ පාද සහ පියාපත් ලිහා දැමූහ. නමුත් ගැටගසා තිබූ කුරුල්ලාට ඇවිදීමට නොහැකි විය. දෙදෙනා ඌ අහසට යොමු කළ හ. ඒ සමගම එකවර ම වෙඩි හඬක් නැගුණි. කොකා දෙතුන් වතාවක් තටු ගසා නැවතත් බිමට වැටුණේ ය.

ඌට වෙඩි වැදිලා, ඔවුහු සිතූහ. නමුත් ඊළඟ මොහොතේ අසල වූ පඳුරකින් තවත් කොකෙක් තටු ගසද්දී කොල්ලන්ගේ කොකා ශබ්ද නඟා බෙල්ල දිගු කර අහසට ඉගිළී නොපෙනී ගියේ ය. දිගු වේලාවක් ගතවන තුරු ළමයින් දෙදෙනාට ඔවුන්ගේ කොකා ඉහළට නැඟුණු නිල් අහස් කුසෙන් දෑස් ඉවතට ගැනීමට නොහැකි විය.

“ඒයි, ඇයි අපි කොක්කු දඩයමට මෙහි නතර වෙන්නෙ නැත්තෙ?” සොන්ග්සම් එක්වර ම කතා කළේ ය. ටෝක්-චේ විස්මයෙන් ගොළු විය.

“මං මේ කඹයෙන් උගුලක් හදනවා. උඹ කොකෙක් මෙතැනට එළවපන්.”

ටොක්-චේගේ දෑත ලිහා දැමූ සොන්ග්සම් ඒ වන විටත් වල් පැලෑටි අතර බඩගා යාමට පටන් ගෙන තිබුණි. ටොක්-චේගේ මුහුණ සුදුමැළි විය.

“කොහොම වුණත් උඹට වෙඩි තියන්න මට පුළුවන්” ඒ වදන් ඔහුගේ සිත තුළ දෝංකාර දුන්නේ ය. ඉතා ඉක්මනින් සොන්ග්සම් ගිය දෙසින් වෙඩි උණ්ඩයක් පියාසර කරනු ඇතැයි ඔහු සිතුවේ ය. ටික දුරක් ගිය සොන්ග්සම් සැණෙකින් ටොක්-චේ දෙසට හැරුණි.

“ඒයි, උඹ මොකද මෝඩයෙක් වගේ ඔතැන හිටගෙන ඉන්නෙ? ගිහින් කොක්කු එළවපන්!”

ඉන් අනතුරුව, ටොක්-චේ තම මිතුරා කී ලෙසම වල් පැලෑටි අතර බඩගා යන්නට පටන් ගත්තේ ය. ටැන්ජොං කොක්කු ජෝඩුවක්, උන්ගේ විශාල පියාපත් සලමින් සරත් සෘතුවේ පැහැදිලි නිල් අහසේ ඉහළට ඉගිළී යනු පෙනුණි.

https://www.silumina.lk/2025/01/04/news-features/32849/%E0%B6%9A%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%94/


Nissanka Rajapaksa

unread,
May 12, 2025, 8:25:59 PMMay 12
to INDRAKA group
24
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ…

- ෂර්මිලා බංදුනී දංවත්ත

වැරැන්ඩා එකේ එල්ලලා තිබෙන වෙසක් කූඩුවල රැලි ‘සිරි සිරි’ ගාමින් සුළඟේ නටනවා. හමන සුළඟේ තියෙන්නෙත් ඇඟට දැනෙන මොකක්දෝ අමුතු ගතියක්. ඒ ගතිය දැනෙන්නේ වෙසක් කාලයටම විතරයි.

අද ඉර පෑවුවේ මඳක් පමා වෙලා. ඊයේ රාත්‍රී ඇදහැලුණු වර්ෂාවෙන් පසුව ගස් වැල් පණගහලා ඇවිත්. තාප්පය අද්දරට වන්නට සිටුවා ඇති කිරි ඉද්ද ගස් දෙකම සුදු රෙදි ඇතිරුවාක් මෙන් මල්වලින් වැහිලා.

“පූජා කරන්නවත් මලක් නැහැ.” කියමින් මීට වසර දෙකකට පමණ පෙර අම්මා ගමෙන් ගෙනා අතු කැබලි දෙක සිටුවා ටික දිනක් ගතවෙද්දී කොළ හැලී වේළුණු ස්වභාවයක් පෙන්නුම් කළත් හොඳ වැස්සකට පස්සේ දලු ලා වැඩුණේ බලා හිඳිද්දී වාගෙයි. හවසට බුදුන් වඳින්න, දුවගේ පෙර පාසලට ගෙනියන්න මේ ගස් දෙකේ මල් වැඩිත් එක්ක. වැඩි සාත්තුවක් නැති වුණත්, අඩුපාඩුවක් නැතිව මල් දෙනවා. අම්මා ඉඳහිට ආපු දවසකට පස් බුරුල් කරලා, හාල්පානු වතුර ටිකක් එහෙම දාලා සාත්තු කරනවා. රැකියාවට යෑමයි ගෙදර වැඩයි එක්ක මගෙන් නම් ඔය දේවල් මඟහැරෙනවා.

“අද හවස පන්සල් යන්න තියෙන බව දැනිලද කොහෙද මල් ගොඩක් පිපිලා…” මම අනෙක් අයට ඇහෙන්න කිවුවත් දුව විතරයි “හ්ම්!” කිවුවේ. අනෙක් දෙන්නා බරටම වැඩ.

සුරේන් ගෙදර ඉන්නේ කාලෙකට පස්සේ. සුරේන් රැකියාව කරන්නේ පෞද්ගලික හෝටල් ජාලයක ගණකාධිකාරිවරයකු හැටියට. හුඟ වෙලාවට නිවාඩු දවස්වලත් වැඩ. හැබැයි ඒවට හරියන්න හොඳට ගෙවනවා. පුතාට දැන් අවුරුදු දහසයක් වෙනවා. සාමාන්‍ය පෙළ ලියන්නේ ලබන දෙසැම්බරයේ. පුතාට වඩා අවුරුදු දොළහක් බාල දුව තවම පෙර පාසල් යනවා.

වෙනදට සුරේන් වෙසක් කූඩු ගේන්නේ සල්ලිවලට; නැත්නම් උණ පතුරු කූඩු ගෙනල්ලා ගෙදර කොළ අලවනවා. මේ පාර පුතා කිවුවා එයාට කූඩු ගෙදරම හදන්න ඕනෙයි කියලා. සුරේන් කූඩු හදන තැනකින් උණ කෝටු ටිකකුයි රබර් පටි ටිකකුයි ගෙනත් දුන්නා. පසුගිය ටිකේම නිදි මරාගෙන කළේ කූඩු හදන එක. සුරේන්වත් මංවත් විරුද්ධව වචනයක්වත් කිවුවේ නැහැ.

“ළමයි වුණහම ඔය වැඩත් කරන්න ඕනැනේ. මතකනේ අපි ඒ කාලේ පැටව් කූඩුත් තනියම හදනවා?” සුරේන් කිවුවේ, මම පුතාට මොනවත් කියයි කියලා වෙන්න ඇති.

ඊයේ පුතා ඉස්කෝලේ සිල් ගත්තා. සිල් පවාරණය වෙලා ආ වෙලාවේ ඉඳලම සව් කොළ ඇලෙව්වා. සුදු පාට කූඩු දහයක්. රැලි කපන්න බාර වුණේ මට. දැන් නම් කූඩු දහයෙම වැඩ ඉවරයි. ඊයේ රෑම වැරැන්ඩා එකේ විදුලි බුබුළු හයිකරපු සුරේන් කූඩු එල්ලන්න සකස් කරලා දුන්නා.

ඔය අතරෙදි තමයි දුවට සල් උයනක් හදලා ඉල්ලුවේ. ඊයේ දුවගේ පෙර පාසලේ වෙසක් උත්සවය. පෙර පාසල හරිම ලස්සනට සරසලා තිබුණා. එහි තිබුණු සල් උයනක් දැකලා දුවටත් ඕනැ වුණා සල් උයනක් හදන්න. සුරේන් වෙනදාට වඩා වේලාසන ගෙදර ආ නිසා තාත්තා ආ වෙලාවේ ඉඳලම දුව සල් උයනක් හදලා ඉල්ලනවා. අද උදේම ගිහින් ඕනැ කරන බඩු ගෙනාව සුරේන් සල් උයන හදනවා. කූඩු හදලා අවසන් කරපු පුතා තාත්තට උදවු වෙනවා. දුව එතැන වාඩි වෙලා පොඩිම දෙයක්වත් මඟහැරෙයි කියලා බයේ වගේ බලා ඉන්නවා.

ඈත ශබ්ද විකාශ යන්ත්‍රයකින් ඇහෙන්නේ ධර්ම දේශනාවක්. හන්දිය පැත්තෙන් ඇහෙන්නේ මොහිදීන් බෙග්ගේ බුද්ධාලම්බන ගීත.

“දන්සලේ වෙන්න ඇති…” මට කියවුණා.

“අපිත් යමු දන්සලට!” දුව මගේ ළඟට දුවගෙන ආවා.”

“හවසට පන්සල් යනවනේ… එන ගමන් ඒ පැත්තටත් යමු” ඒ පුතා.

“පුතේ, දන්සල් දෙන්නේ වෙසක් බලන්න දුර බැහැර ඉඳලා එන අයට, දුගී මගී යාචකයන්ට. ගෙදර අත ළඟ තියාගෙන පෝලිමේ ඉඳලා අපි ඒ කෑම කාලා එන එක හරි නැහැ.” මගේ කතාවට දුව මූණ නරක් කරගත්තා.

“වෙසක් දවසට අපි හැමෝම එකයි නේ අම්මේ!” පුතා කිවුවා.

“ඔව් අම්මේ, අද විතරනේ…” දුවත් පණ්ඩිතකමට කිවුවා.

“මෙන්න බලන්න දූ…” සුරේන් කතා කළේ දුවට. සල් ගසක් යට ඉන්න සිද්ධාර්ථ කුමාරයාගේ රැස් වළල්ල කරකැවෙනවා. නෙළුම් මල් හත ලස්සනට පිපිලා. මේ වගේ වැඩ කරන්න සුරේන්ට මනා හැකියාවක් තියෙනවා. සරසවියෙදි හමු වෙලා, විවාහ වෙලා, නුගේගොඩ පදිංචි වෙලා හිටියත් අපි දෙන්නම ප්‍රාදේශීය නගරවලින් පැමිණි අය. කුඩා අවධියේ වෙසක් සැරසිලි කරපු හැටි අපට තාමත් හොඳට මතකයි.

“තාත්තේ, මේ රැස් වළල්ල කරකැවෙන්නේ කොහොමද?” දුව ඇහුවේ පුදුමයෙන්.

“රැස් වළල්ලට මෝටරයක් සම්බන්ධ කරලා තියනවා දුවේ. ඒකෙන් තමයි රැස් වළල්ල කරකැවෙන්නේ.” දුවට නොතේරුණත්, සුරේන් පැහැදිලි කරලා දෙනවා.

ඒ කතාවත් එක්ක මගේ හිත ඇදී ගියේ අතීත සිද්ධියක් ඔස්සේ. මගේ ගම හොරණ නගරයට නුදුරින් පිහිටා ඇති ගමක්. එකල හොරණ නගරයේ තිබුණු එකම ලයිට් බඩු කඩය අයත්ව තිබුණේ මගේ මහප්පාට. ඒ කියන්නේ මගේ පියාගේ එකම සොහොයුරාට. මහප්පාට හිටියේ දූලා දෙන්නෙක්. ඔවුන් දෙදෙනාම මට වඩා වසර දහයකටත් වඩා වැඩිමල්. ඒ නිසාම මහප්පා මට බොහෝ සෙයින් ආදරය කළා. එකල මා ඉගෙනුම ලැබුවේ නගරයේ පාසලක. මගේ අම්මත් තාත්තත් ගුරුවරු; මහප්පත් ගුරුවරයෙක්. කලින් විශ්‍රාම ලබලයි ව්‍යාපාර පැත්තට යොමු වෙලා තියෙන්නේ.

අම්මටත් තාත්තටත් නිවාඩු ගැනීමට නොහැකි අවස්ථාවලදී මගේ අවශ්‍යතාවන්ට මෙන්ම අසනීපයක් වූ විට රැගෙන යෑමට පාසලට පැමිණෙන්නේ මහප්පායි. ඒ නිසා සමහර ගුරුවරුන් මෙන්ම ළමයින් ද හිතාගෙන හිටියේ මගේ තාත්තා මහප්පා කියාය.

මා පාසල නිම වූ පසු පාර අයින දිගේ මහප්පාගේ කඩයට යනවා. එකල හොරණ නගරය අද මෙන් ජනාකීර්ණ නැහැ. එවකට තාත්තා සේවය කළේ නගරයට ආසන්න පාසලක. තාත්තා පාසල නිම වී පැමිණ මා නිවෙසට කැඳවාගෙන යනවා. විශේෂයෙන් යමක් සිදු නොවී නම් හැමදාමත් දිනචරියාව යෙදී තිබුණේ මේ ආකාරයට. වෙසක් පොහොය ආසන්න වනවිට ලයිට් බඩු කඩය විසිතුරු බඩු භාණ්ඩවලින් මෙන්ම පාරිභෝගිකයන්ගෙන් ද පිරී යනවා. ඒ කාලයට කඩේ පිටුපස බිම වාඩි වූ කාන්තාවන් කිහිපදෙනකු විදුලි බුබුළු වැල් අමුණනු මා බලාසිටින්නේ ආසාවෙන්.

ඒ සිද්ධිය සිදු වූයේ වෙසක් පොහොය ආසන්න දිනයකයි. වෙනදා වගේම පාසල නිම වී කඩයට පැමිණි මා පුටුවක වාඩි වී බලාසිටියේ මිනිසුන් බඩු ගන්නා දෙසයි. වෙනදාට වඩා වැඩි පිරිසක් ඇවිත් හිටියේ වෙසක් සැරසිලි මිල දී ගැනීම සඳහායි. ඒ වන විට මම හිටියේ හයේ පන්තියේ පමණ වන්නට ඇති. පාසල් නිල ඇඳුමෙන් සැරසුණු පිරිමි ළමයකුත් මේ අතර හිටියා. මට හිතෙන විදියට ඒ ළමයා එවකට අටේ පන්තියේ පමණ ඉගෙනුම ලබන්න ඇති. ඔහු හිටියේ බඩුගන්නන් අතර පසෙකට තල්ලු වෙමිනුයි.

“මෙතැන මෝටර් දොළහක් තිබුණා. දැන් තියෙන්නේ එකොළහයි.” වෙළෙඳ සේවිකාවක් එක්වරම කෑගහන්න පටන්ගත්තා. කවුරුත් කලබල වුණා. හැමෝම මුහුණට මුහුණ බලාගත්තා. එක් විටම සේවිකාව අර ළමයා දෙසට අත දිගුකර,

“මෙයා තමයි මෝටර් ඉල්ලුවේ. මම පෙට්ටිය කවුන්ටර් එක උඩ තියලා එක මෝටරයක් චෙක් කරගෙන ඇවිත් බලනකොට මෝටරයක් අඩුයි. චෙක් කරලා පෙන්නුවට පස්සේ මේ ළමයා කියනවා මෝටරය එපා කියලා

මෙයාම තමයි ගන්න ඇත්තේ…” කිවුවේ විශ්වාසයෙන්.

එතැන හිටපු වැඩිමහලු පුද්ගලයෙක් ළමයාට යන්න නොදී අල්ලාගත්තා.

“ඇත්ත කියනවා! ගත්තා නම් දෙනවා…”

ළමයා හොඳටම බය වෙලා. ඒත් ඔහු කීවේම ගත්තේ නැති බවයි.

“කෝ පෙන්නනවා එහෙනම් සාක්කු!” තවත් පුද්ගලයෙක් කිවුවා. “නැත්නම් පොලීසියට බාර දෙනවා. ලේසි වෙන්නේ නැහැ පොලීසි ගියොත් එහෙම…”

හැමෝම ළමයා වට කරගෙන. ළමයාගේ ඇස්වල කඳුළු පිරිලා.

බැහැරක ගොස් සිටි මහප්පා නැවත පැමිණියෙත් ඒ වෙලාවේදීමයි. වෙළෙඳ සේවිකාව මහප්පාට සිද්ධිය පැහැදිලි කළේ මෝටරය ගත්තේ ළමයාම බව තමන්ට සහතික බව කියමිනුයි.

“පුතා… ඔයා ගත්තා නම් මෝටරය ආපහු තියන්න. මම පොලීසි යන්නේ නැහැ. ඉස්කෝලෙට කියන්නෙත් නැහැ. ඔයා පොඩි දරුවෙක් නිසයි මම මෙහෙම කියන්නේ.

එහෙම කියන කොටම ළමයා සාක්කුවට අත දමලා, මෝටරය අරගෙන මහප්පාගේ අතේ තිබ්බා; එහෙම තියලා කඩෙන් එළියට බැහැලා දුවන්න පටන්ගත්තා.

“මම ඔය ළමයව දන්නවා. මේ ළඟ ඉන්නේ. බොහොම දුප්පත් මිනිස්සු…” එතැන හිටපු මහප්පා අඳුනන කාන්තාවක් කිවුවා.

ඒක ඇහෙන කොටම මට ඇඬුණා. හේතුව මට තේරුණේ නැහැ. ඒත් මම මහ හයියෙන් ඇඬුවා; නවත්තගන්න බැරි තරමටම ඇඬුවා. ළමයා ගැන මට දැනුණේ ලොකු දුකක්. මේ තරම් ගොඩක් බඩු තියන තැනකින් ඒ ළමයට පුංචි මෝටරයක් දෙන්න බැරි වුණේ ඇයි? මට හිතාගන්න බැරි වුණා. මම අඬන සද්දෙට මහප්පා දුවගෙන ආවා.

“ඇයි දුවේ අඬන්නේ?”

මම මොකුත් කිවුවේ නැහැ. මහප්පාගේ මුහුණ බලන්න බැරි හැඟීමක් මට ඇති වුණා. එවිටම තාත්තා මා රැගෙන යෑමට පැමිණි නිසා බෑග් එක පිටේ එල්ලාගත් මා තාත්තාත් සමඟ ගෙදර ගියා. යන අතරත්, ගෙදරට ගියායින් පසුවත් අම්මාටවත් තාත්තාටවත් මා මොකුත්ම කීවේ නැහැ. ගෙදර ගොස් කෑම කා නින්දට ගිය මම ඇහැරෙනකොට රෑ බෝ වෙලා. මම ඇහැරෙනකොට අම්මයි තාත්තයි බිම පැදුරක් එළාගෙන වෙසක් කූඩු අලවනවා. දහවල් සිදුවීම නිසා ඒ වෙන කොටත් මම හිටියේ හෝන්දුමාන්දු ගතියෙන්. අම්මා කපන රැලි දිගහරින්න මට දුන්නා. ඒ විදියට අපි වෙසක් කූඩු අලවමින් ඉන්නා අතරේ තමයි කාර් එකක් වත්තට ඇතුළු වුණේ. ඒ මහප්පාගේ කාර් එක.

කලබල වුණු තාත්තා ඉක්මනට එළියට බැස්සේ “ඇයි අයියේ හදිස්සියක් ද?” කියලා අසාගෙන.

මොකුත් නොකියා හිනා වීගෙනම ගෙට ගොඩ වුණු මහප්පයි, ලොකු අම්මයි මගේ අතට පාර්සලයක් දුන්නා. පාර්සලයේ තිබුණේ අකුළන චීන පහන් කූඩු කට්ටලයක්.

“දුව අඬපු එක ගැන මෙයාගේ හිතට හරි නැහැ. අපි ආවේ දැන් දුවට මොකද බලන්න…” ලොකු අම්මා කිවුවා.

දහවල් සිදුවීම පිළිබඳ හාංකවිසියක්වත් නොදන්නා අම්මත් තාත්තත් මූණට මූණ බලාගත්තා. සිද්ධිය තාත්තලාට විස්තර කළේ මහප්පා.

“දුව නිසා අද මම ලොකු පින්කමක් කරගත්තා. හැම වෙසක් පෝයකටම මම පන්සල් ගණනාවකටම වෙසක් බඩු නොමිලේ හරි, සහනදායි මුදලකට හරි දෙනවා. ඒත් අද ඒ ඔක්කොටම වැඩිය හිත සැනසෙන පිනක් මම දුව නිසා කරගත්තා. මම ගියා අර ළමයව හොයාගෙන. ඒ සිද්ධිය වෙන වේලාවේ එතැන හිටියනේ ඒ ළමයව අඳුනන ගෑනු කෙනෙක්. ඒ මනුස්සයගෙන් විස්තර අහගෙන මම ගියා ඒ ගේ හොයාගෙන. හරිම අසරණ මිනිස්සු. තව ළමයි දෙතුන් දෙනෙකුත් ගෙදර හිටියා.

හරියට ගෙයක් දොරක්වත් හදාගෙන නැහැ. තාත්තත් කුලී වැඩලු කරන්නේ…

“මම මෝටරයකුයි රැස් වළල්ලකුයි විතරක් නෙවෙයි, සල් වියනකට ඕනෑ කරන අනෙත් බඩුත් ගෙනිහින් දුන්නා, තව පොඩි බල්බ් සෙට් එකකුත් එක්කම. ළමයා නම් මුලින් බය වුණා. මම එන්නේ ගෙදරට හොරකම ගැන කියන්න වෙන්න ඇති කියලා. පස්සේ මම එන්න හදන කොට දණගහලා වැඳලා, මම ආයෙම කවදාවත් නරක වැඩක් කරන්නේ නැහැ කියලා කිවුවා. ඒ වෙලාවේ ඒ ළමයගේ ඉරියව් දැක්කාම මටත් හිතුණා ඒ කතාව ඇත්තටම කියපු දෙයක් කියලා.

“දුව නිසා තමයි මං ඒ ගමන ගියේ. ඒකෙන් මගේ හිත සැහැල්ලු වුණා. වෙසක් දවස ලොකු පොඩි, පෝසත් දුප්පත් අපි හැමෝටම එක වගේ සතුටින් ඉන්න අයිතියක් තියන දවසක්…”

එහෙම කියපු මහප්පා මා ළඟින් වාඩි කරවාගෙන හිස අතගෑවා.

එවන් මිනිසකුට තිබුණේ කෙටි ආයුෂක්. ඒ සිද්ධිය සිදු වී ටික කලකදී මහප්පා මෙලොව හැර ගියා. මහප්පා හා බැඳුණු සොඳුරු මතක මොන තරම් තිබුණත්, මහප්පා මතක් වන හැමවිටකම මේ සිද්ධිය මගේ සිහියට නැඟෙනවා. මහප්පා වැනි කාර්යබහුල පුද්ගලයකු එවන් සුළු සිද්ධියක් ඔස්සේ කුඩා දරුවකු සොයාගෙන ගියේ මගේ කඳුළුවලට සංවේදී වූ නිසයි. එවන් සංවේදී හිතක් ලෙහෙසියෙන් කෙනකුට පිහිටන්නේ නැත. මහප්පා සිදු කළ බොහෝ යහපත් ක්‍රියා අතර මේ සිදුවීම මගේ හදවතේ සදා නොමැකී තිබෙනවා.

“තේකක් බොමු ද…?” සල් උයනේ වැඩ නිම කළ සුරේන් ඇහුවා.

“හා…” මාත් ඉඳගෙන හිටි තැනින් නැඟිට්ටා.

“මිනිසාමයි ලොව දෙවියන් වන්නේ…” ඈතින් ඇසෙනවා.

Nissanka Rajapaksa

unread,
May 14, 2025, 8:16:28 PMMay 14
to INDRAKA group
25
වියපත් ගවයෙකුගේ හදවත ....

- මංජුල සේනාරත්න 

"මොනවා වුනත් අපිට අන්තිමට යන්න වෙන්නේ මස් කඩේට තමයි .." අකිල ගොනා කිව්වා . අපි දෙන්නා මහ විද්‍යාලය ය පිටි පස්සේ තණ කොළ කමින් හිටියේ . ඒ තණ කොළ කහ පාටයි . කිසිම රහක් නැහැ . බඩ පුරවා ගන්න කෑවට පිරියක් තිබ්බේ නැහැ . 

එහෙම කියපු අකිල ගොනා එයාගේ බාර කාරයා එක්ක යන්න ගියා . අකිලයා දැන් හරි වයසයි . යන්නේ කොර ගහමින් . ටිකක් ඈතට ගිහින් ඌ හැරිලා මං දිහා බැලුවේ හරිම දුකෙන් . ඒ තමයි අකිල ගේ අවසන් බැල්ම . ආයේ ඌව දැක්කේ නැහැ . මස් කඩේට යවන්න ඇති . අවුරුදු ගානක් මාත් එක්ක මේ හරක් ජීවිතය බෙදා ගත්ත මිත්‍රයා ඒ විදිහට වෙන් වෙලා ගියා . 

ගමටම තිබ්බේ එක මස් ලෑල්ලයි . ඒකෙත් හුගක් වෙලාවට මස් තිබ්බේ නැහැ . ලෑල්ලේ වහලා හිටියේ මැස්සෝ විතරයි . මස් ලෑල්ලේ අයිතිකාරයා දහම් . ගමේ ඉන්න ලොකුම කුපාඩියා . ගණන් කාරයා . වසලයා . හෙට හවස වෙනකොට අකිලගේ මස් වලින් ලෑල්ල පිරෙයි .  

මගේ වයස ගැන වැටහීමක් නැහැ . ඒත් අවුරුදු ගානකට කළින් බණ්ඩාර වලව්වට මාව ගෙනාවේ තිරික්කලේ බඳින්න . එතකොට නුවන් මහත්තයා පොඩියි . අවුරුදු 10 ක් විතර ඇති . එයාව ඉස්කෝලේ ගෙනියන එක තමයි මගේ රාජකාරිය . තිරික්කලේ දැක්කුවේ සිරි ගොයියා . අවුරුදු ගානක් මම මේ රාජකාරිය කෙරුව . නුවන් මහත්තයා ගේ හොදම යාළුවා තමයි දහම් . එකම වයසේ . බණ්ඩාර දෙමාපියෝ කැමති වුණේ නැහැ තමන්ගේ එකම පුතා ගමේ ඉන්න හොර පවුලක දරුවෙක් එක්ක මිත්‍ර වෙනවට . ඒත් මේ දෙන්නගේ මිත්‍රත්වය නතර කරන්න කාටවත් බැරි වුණා . දෙන්නා ගියේ එකම ඉස්කෝලෙට . වලව්වෙන් පිටවෙලා විනාඩි දහයක් යද්දී කොහේ හරි තැනකින් දහම් කොල්ලා මතුවෙලා තිරික්කලේට නගිනවා . ඊට පස්සේ කොල්ලෝ දෙන්නාගේ කච කචය . ඉස්කෝලේ ඇරිලා එනකොටත් එහෙමයි . සිරි ගොයියා වලව්වේ ඇත්තන්ට කිව්වේ නැහැ දහම් කොල්ලා තිරික්කලේට නගින බව .

මේ යාලුවෝ දෙන්නා හොඳ ඉලන්දාරි වෙච්ච එක කාලෙක පිට්ටනියේ කෙළවර ගහක් යට දිගා වෙලා කතා කර කර හිටියා . මම තරමක් ඈතින් තණකොළ කකා හිටියා . මොකක් හරි හේතුවක් හින්දා නපුරු දෙයක් වෙන්න යන බව මට තේරුණා . බල්ලන්ට වගේ ඉවක් මට නැහැ . ඒත් මට පෙනුනා කැලේ පැත්තෙන් තවත් කොල්ලෝ හය හත් දෙනෙක් මතු වෙනවා . උන් ගියේ නුවන් මහත්තයයි , දහම් කොලුවා යි හිටපු දිහාවට . ඒ අතරින් කොල්ලෝ දෙන්නෙක් අතේ කඩු තියෙනවා මම දැක්කා .

මට හොඳටම විශ්වාසයි උන් ආවේ දහම් කොලුවා ට ගහන්න . නැත්නම් මරන්න . මොකක් හරි කෝන්තරයක් . නුවන් මහත්තයා බය ගුල්ලා . කොල්ලෝ ටික එනවා දැක්ක ගමන් පැනලා දුවන්න ගත්තා . දහම් කොල්ලා තනිවුණා . 

එකෙක් පැනපු ගමන් දහම්ට පොල්ලකින් ගැහුවා . ලොක්කා දැන් බිම . තෝව මරනවා ... කියපු එකෙක් කඩුව ඉස්සුවා . 

තිරිසන් සතෙක් වුණත් මට මොළයක් තියනවා . මගේ තිරික්කලේ නැගලා යන දරුවා මගේ ඇස් දෙක ඉස්සරහා මැරෙනවා දකින්න මට බැහැ . මම ජවය ගත්තා . වේගයෙන් කොල්ලෝ රෑන දිහාට දුවගෙන ගියා උන් මාව දැක්කේ නැහැ . මම මුළින්ම කෙරුවේ කඩුව උස්සගෙන හිටපු කොලුවට ඇනපු එක . ඌව විසි වෙලා ගියා . තවත් එකෙක් ආවා මට ගහන්න . ඌටත් ඇන්න . තව එකෙකුට දුන්නා පයින් පාරක් බඩ අල්ලාගෙන බිම වැටෙන්න . තත්පර දහයක් යන්න කළින් කොල්ලෝ ටික ආපු පැත්තටම දිව්වා .

දහම් කොලුවා මං දිහා බලා ඉඳලා අනෙක් පැත්තට දුවන්න ගත්තා . ඌ මට ස්තුති කෙරුවේ වත් නැහැ . හොරෙකුගේ පුතෙකුගෙන් ස්තුතියි බලාපොරොත්තු වුණු මමත් මහ ගොනෙක් . 

දැන් අවුරුදු ගානක් ගෙවිලා ගිහින් . මම වයසයි . ඇවිදින්නෙත් අමාරුවෙන් . නුවන් මහත්තයා ට මාව වැඩක් නැහැ . කොයි වෙලාවේ හරි එයා මාව දහම්ගේ මස් ලෑල්ලට විකුණන බව මම දන්නවා . එයාලා දැන් ලොකු මිනිස්සු . 

"විමලෝ ..ඔය නාකි හරකව මස් කඩේට අරං පලයන් .." නුවන් මහත්තයා කියනවා මට ඇහුනා 
"ටික දවසක් ඉමු මහත්තයෝ වෙසක් ළඟයි නේ .."
"වෙසක් පෝයට පස්සේ පොසොන් එනවා නේ . අරං පලයන් වහාම මේ නාකි ගොනා ගෙන් සත පහක වැඩක් නැහැ . කෙහෙල් කොළ ටික කනවා විතරයි . මතක ඇතුව හොඳ ගානක් ඉල්ලගෙන වරෙන් . දහම් ට කියපන් අපේ හරකා කියලා ..."

මාව බාර ගත්තේ දහම් ගේ ගෑනි . ඒකිට මාර සන්තෝසයක් ආවා . මාව මස් කරළා විකුණලා සල්ලි ටිකක් හොයා ගන්න පුළුවන් . දහම් එන්නත් කළින් ඒකි මස් ලෑල්ල හේදුවා . උන්ගේ පොඩි එකා ළඟට වෙලා බලාගෙන ඉන්නවා .

ලෑල්ල හෝදලා , මාව බැඳලා තිබුණු කොස් ගහ ළඟ ගල් පඩිය උඩින් මහ විශාල පිහි දෙකක් තිබ්බා . මම දන්නේ නැහැ කොයි පිහියෙන්ද මගේ උගුරු දණ්ඩ කැපෙන්නේ කියලා . දහම් ආවම මාව මරයි . මට ආයේ හරක් ආත්මයක් ලැබෙයිද . ආයේ තිරිසනෙක් වෙයිද . මේ ආත්මේ මම කරපු පිනක් නැහැ . ඒත් කරපු පවකුත් නැහැ . පව් නොකර හිටියට හොඳ ආත්මයක් ලැබෙන්නේ නැහැ මම හිතන්නේ . පිං කරන්න ඕනා . හරක් මම කොහොමද පින් කරන්නේ ..? 

දහම් එනවා . මම ඌව දැක්කේ අවුරුදු ගානකට පස්සේ . ගෑනි ගිහින් කිව්වා හරකෙක් ඉන්නවා කියලා . දහම් මගේ දිහාවට ආව . පිහි දෙක හොදට මුවත් කෙරුවා . බෙල්ල කපන කොට රිදෙන එකක් නැහැ . මේ ජීවිතේ කොයි තරම් මට රිදිලා තියනවද ..? මරණය තවත් වේදනාවක් විතරයි . ගෑනි බලා ඉන්නවා . දහම් ලොකු පිහිය ඉස්සුවා . ඒත් එක පාරටම මගේ දිහා බැලුවා . මූණට එබුණා .
"යකෝ ..මේ උඹද .. " මගෙන් ඇහුවා . මම කොහොමද උත්තර දෙන්නේ ..
"මේ උඹද බං ..මතකද හරකෝ මාව...?" මම කොහොමද උත්තර දෙන්නේ..?
"කව්ද මේ හරකා ව ගෙනාවේ ..?"
"බණ්ඩාර වලව්වෙන් ..."
"එහෙනම් ඌ තමයි මේ "
"මොකක් ..? "
"ඔයා දන්නේ නැහැ මේ හරහා හින්දා තමයි මම ජීවතුන් අතර ඉන්නේ . මූ දවසක් ඇවිත් අර ගල් වලේ උන්ට ඇනලා මාව බේර ගත්තා . මේ හරකා හින්දා තමයි ඉන්දුවෝ මම ජීවතුන් අතර ඉන්නේ . මට බැහැ මූව මරන්න .."
"මොකක් ..උඹට පිස්සුද මිනිහෝ .. ගෙදර සතයක් නැහැ . මේ ළමයා හාමතේ . මරපන් මේ සතාව . උඹ කවදා ඉඳලද කළගුණ සළකන්න පුරුදු වුණේ ..?"
"මට බැහැ යකෝ ..මාව බේර ගත්ත සතාව මරන්න .මට බැහැ ඒ නරුම වැඩේ කරන්න "
"තෝ මරන්නේ නැත්නම් මම මරනවා . .." ගෑනි පිහිය අතට ගත්තා .
"ඉන්දුවෝ තෝ මගෙන් මැරුම් කන්න එපා ..දීපිය ඔය පිහිය ..මේ සතා මාව බේර ගත්තා . මට බැහැ මූව මරන්න..."

ගෑනියි , මිනිහයි ගේ ඇතුලේ ගහ ගන්නව . ළමයා අඬනවා . මට හිතුනා කියන්න අනේ මාව මරලා සල්ලි ටිකක් හොයාගෙන ඔය ළමයට කන්න දෙයක් අරං දීපං කියලා . ඒත් මාව මරන්න දහම් ආවේ නැහැ .

හරක් මරලා , විකුණලා ජීවත් වන පාපතරෙකුගේ හිතට සත්ව කරුණාව ඇති වුණේ කොහොමද කියලා මම දන්නේ නැහැ. ඒත් ජීවිත කාලය පුරාම පව් කරපු මිනිහා මගේ ජීවිතේ බේරුවා . 

එදා රෑ වෙසක් හඳ පායලා තිබුණා . මුළු පරිසරයම සිල් සුවඳයි . ශාන්තයි .

දහම්ගේ ළමයා මර හඬ දීලා කෑ ගහනවා . ගෑනිත් අඩනවා . ළමයට අසනීපයක් හැදිලද කොහෙද . දහම් පිස්සුවෙන් වගේ ළමයා අරං එළියට බැස්ස . පාරේ මොකක්වත් නැහැ . මේ ගමට වාහන එන්නේ නැහැ . ආවත් කළාතුරකින් . ළමයා අඩනවා . ඉස්පිරිතාලේ ගෙනි යන්න විදිහක් නැහැ . දහම් ගේ මෝටර් සයිකලය වැඩ නැහැ . 

මම මහ හඬින් ශබ්දයක් පිට කෙරුවා . අමාරුවෙන් දගලන්න පටන් ගත්තා . දහම් ට යමක් තේරුණා කියලා මට දැනුණා . ඌ මෝඩයෙක් නෙමෙයි . මිනිහා ළමයව ගෑනිට දීලා ගේ පිටි පස්සට ගියා . ආයේ ආවේ අබලන් වෙච්ච කරත්තයක් එක්ක . මාව ගහෙන් ඉහලා ඒ කරත්තයට ගැට ගැහුවා . පස්සේ ගෑනියි ළමයයි නැග්ගුවා . 
"හරකෝ .. එදා උඹ මගේ ජීවිතේ බේරුවා . දැන් මගේ ළමයව බේරලා දීපං . ජාති ජාතිත් මං උඹට ණය ගැතියි . මං ආයේ කවදාවත් හරක් මරන්නේ නැහැ ..." මිනිහා කිව්වා . 

මම කරත්තේ ඇද ගෙන වැලි පාරේ දිව්වා . හැතැම්ම පහ හයක් යන්න ඕනා ටවුමේ ඉස්පිරිතාලෙට . වෙසක් හඳ විතරයි එළියට තිබුණේ . මම දිව්වා . වේගෙන් දිව්වා . මගේ පපුව පැලෙන්න එනවා . පුංචි දරුවා ගේ ජීවිතය මගේ අතේ . මම දිව්වා . පැය ගානකට පස්සේ ටවුමේ ලයිට් එළිය මම දැක්කා . 

ඉස්පිරිතාලෙට ආවට පස්සේ දහම් ළමයව අරං ඇතුළට දිව්වා . ගෑනිත් ඒ පස්සෙන් වැටුනා .

මම ඉස්පිරිතාල වත්තේ ඉඳ ගත්තා . මහන්සිය දරා ගන්න බැහැ . කව්ද කෙනෙක් ඇවිත් මට කොළ වගයක් කන්න දුන්නා . තවත් කෙනෙක් වතුර බාල්දියක් ගෙනැල්ලා දුන්නා . වෙසක් හඳ හෙමින් නොපෙනී යනවා . තවත් දවසක් උදා වෙනවා .

යන්තම් එළි වෙනකොට මම දැක්කා දහම් , එයාගේ ගෑනියි පුංචි දරුවයි එක්ක ඉස්පිරිතාලෙන් එළියට එනවා . මිනිහා දුවගෙන ඇවිත් මාව බදා ගත්තා . මගේ ඔලුව අත ගාමින් අඩන්න ගත්තා . ගෑනිත් අඩනවා .
"උඹ මගේ දරුවා බේර ගත්තා . උඹ හරකෙක් නෙමෙයි . දෙවියෙක් .. " ඒ තමයි මට ඇහුන අන්තිම මිනිස් වචන ටික . මගේ තිරිසන් ආත්මය මේ ලෝකෙන් ගිලිහිලා යන බව මට දැනුණා . 

මම පුංචි පිනක් කෙරුවා . දරුවෙකුගේ ජීවිතයක් බේරලා දුන්නා . මිනිස් ආත්මයක් ලබන්න ඒ පින ඇති වෙයිද කියලා මම දන්නේ නැහැ ...

Nissanka Rajapaksa

unread,
May 15, 2025, 7:24:23 PMMay 15
to INDRAKA group
26
ලේන්සුව 
සෝවියට් කෙටිකතාවක්

පැරණනි සෝවියට් දේශය සගරාවකිනි.









Nissanka Rajapaksa

unread,
May 16, 2025, 9:04:42 PMMay 16
to INDRAKA group
27
සම්මා සති

- චාන්දනී දේවිකා පුංචි­හේවා


නි‍ෙව­සට ඇතුළු වූ යසිරු තම කාම­ර­යට පියනැඟුවේ කල­බ­ල­යෙනි. ඔහු සාප්පු සංකී­ර්ණ­යෙන් තෝරා ගෙන ආ ඇඳුම් පැල­ඳුම් මල්ල යහන මත තැබු­වේය. ඉන්ප­සුව යසිරු මුළු­තැ­න්ගෙය දෙසට පියනැඟුවේ තම නැඟ­ණි­යන් එහි ඇති බව දන්නා නිසා­වෙනි.

“අයියා එහෙ­ම­නම් හෙට ගමේ නෑ….”

“හෙට වෙසක් පෝයනේ අයියා. වෙනදා වගේම මේ පෝය­ටත් අම්මයි තාත්තයි සිල් ගන්නවා. අපිත් යනවා උදෙන්ම පන්ස­ලට. සිල් ඇත්තන්ට දානය බෙදන්න.”

“මේ සැරේ පන්සලේ දන්සල් දෙකක්ම තියෙ­නවා. ඒවට උදව් වෙන්නත් පුළු­වන් අපට.”

විහ­ඟනා සහ පැහැසි පැව­සූහ. ඔවුන්ගේ මුහු­ණු­වල පිළි­බිඹු වන්නේ සන්සුන් බවකි.

යශෝදා පිටු­පස දොරෙන් නි‍ෙවස තුළට පැමි­ණියේ සුදු ඇඳුම් අතැ­ති­වය. ඒ අතර ඇයගේ සැමියා වූ සිරි­නා­ථගේ සරොම, කමි­සය සහ උතුරු සළුව ද විය.

“කෝ… දෙන්න අම්මේ මං අයන් කර­න්නම්”

“ඕන නෑ… මට තවම මේ වගේ වැඩ කර ගන්න පුළු­වන්…..”

යශෝ­දාගේ එම වච­න­වල ගැබ්ව තිබුණේ නොරි­ස්සුම් සහ­ගත බවකි. යසිරු නිහ­ඬ­වම මුළු­තැ­න්ගෙ­යින් නික්මුණි. මව සහ නැඟ­ණි­යන් අතර තමා අද හුදෙ­කලා වූ පුද්ග­ල­යෙකු බවට පත්ව ඇති ලෙසක් ඔහුට දැනුණි.

යසිරු කාම­ර­යට පැමිණ එහි දොර­ගුළු දැමු­වේය. තමා හෙට දිනයේ කර­න්නට යන්නේ වර­ද­කාරි ක්‍රියා­වක යැයි හද­වත පව­සන බවක් ඔහුට දැනුණි. ඒ නිසාම ඔහු සිය­ල්ල­න්ගෙන්ම වසන් වී ගෙන ආ ඇඳුම් පැල­ඳුම් මල්ල විවෘත කර­න්නට උත්සුක වූවේය. ඒ තුළ ටී ෂර්ට් දෙකක් හා කොට කලි­සම් දෙකක් විය. ඉන් එකක් පොල් හේන මුහුදු තීරයේ දිය නෑමට සුදුසු පරිදි වූ සැහැල්ලු එකකි. හිස් වැස්මක් සහ සැහැල්ලු රබර් සෙරෙප්පු යුග­ල­යක් ද ඔහු මිලදී ගෙන තිබිණි. මිතු­රන් විසින් ඔහුට ගෙන ඒමට පැවරු නොයෙ­කුත් වර්ගයේ බිස්කට් සහ බයිට් පැකට් රාශි­යක් ඇති සිලි සිලි බෑග­යක් ද එහි විය.

“ජොබ් එක ලැබු­ණට පස්සේ එන මුල්ම වෙසක් පෝය බ්‍රෝ. අම්මයි තාත්තයි සිල් ගන්නවා. හැම පෝය­ටම අපි පන්සලේ…. දන්සල් දෙකක්ම මේ පෝයට. පොඩි හාමු­දු­රුවෝ සංවි­ධාන කට­යුතු මටත් භාර දීලා……

මෙම චාරි­කාව පිළි­බඳ කතා­බ­හක යෙදුණ මුල්ම දවසේ යසිරු තම මිතු­රන්ට කරුණු පැහැ­දිලි කර දෙන්නට වූයේ එලෙ­සය.

යශෝදා සහ සිරි­නාථ තම දුවා දරු­වන් හදා වඩා ගත්තේ ආග­මික පරි­ස­රය පෙර­දැරි කර ගෙනය. පවුලේ සෑම විශේෂ අව­ස්ථා­ව­කම පන්සලේ නායක හාමු­දු­රු­වන්ගේ ආශී­ර්වා­දය ලබා ගන්නට ඔවුහු මූලි­කව කට­යුතු කළහ. එසේම සෑම පොහොය දින­ය­කම සිල් සමා­ද­න්වීම යශෝදා සහ සිරි­නා­ථගේ අනි­වා­ර්යය කාර්ය­යක් වී තිබේ. යසිරු සහ නැඟ­ණි­යන් දෙදෙනා පන්සලේ පොහොය දින වැඩ­ස­ට­හ­න්ව­ලට නොක­ඩවා දායක වන්නාහ. එහෙත් අද මේ සියලු ක්‍රියා කලා­ප­යන්, නව රැකි­යාව සමඟ යසි­රුට කුලු­පග වූ මිතු­රන් හමුවේ ප්‍රශ්නා­ර්ථ­යක් බවට පත් වී ඇත.

“ආ… ආ… විඳ­වන්න නෙමෙයි ජීවි­තය විඳින්න ඕන කාලය බං… මේ”

“පන්සල් යන්න, සිල් ගන්න අපට තව කල් තියෙ­නවා. තවම අපට හැට පැන්නේ නෑ නේ… ”

“අම්මා තාත්තා ආග­මික කට­යුතු එයා­ලගේ වයසෙ හැටි­යට කර ගනීවි. අපි දැන්ම ඒවා හිතන්න ඕන නැහැ”.

මිතු­රන් සැවොම වරින් වර එවැනි අද­හස් දැක්වූහ. යසිරු ඔවුන් හමුවේ අස­රණ වූ චරි­ත­යක් බවට පත් විය. ඒ නිසාම මිතු­රන්ගේ අද­හ­ස්ව­ලට එහා තීර­ණ­යක් ගැනී­මට ඔහුට නොහැකි විය.

වෙසක් පෝය සහ ඊට පසු­දින රජයේ නිවාඩු දින දෙකක් යෙදී ඇති බැවින් ඒ සඳහා දෙදින චාරි­කා­වක් ඔවුහු සැල­සුම් කළහ. වෙසක් පෝය දින පාන්දර පහයි තිහට පමණ ගමන ආරම්භ කළ යුතු බව ඔවුන්ගේ තීර­ණය විය. මාතර සහ ගාලු නග­රය ඔවුන්ගේ ඉල­ක්කය විණි. පළ­මුව නෝනා­ගම හරහා මාත­රට ළඟා වීමත්, මාතර ගාල්ල ප්‍රධාන මාර්ගයේ මුහු­දට ආස­න්නව ඉදි­කර ඇති කුඩා උයන් තීරයේ ගිමන් හැරී­ම­ටත් ඔවුන්ගේ අද­හ­සය. පාන් සහ සීනි සම්බෝල සාදා­ගෙන ඒමට ප්‍රියා­ජිත් එකඟ විය. එහෙත්…. වෙසක් දින දන්සල් ඇති බැවින් උදෑ­සන ආහා­ර­යක අව­ශ්‍ය­තා­වය නොමැති වනු ඇති බව බොහෝ දෙනා පැව­සූහ. නමුත් දන්ස­ල්ව­ලින් ද ආහාර ලබා ගෙන මාතර මුහුදු තීරයේ ආහාර අනු­භව කර­මින් විනෝ­ද­යෙන් කාලය ගත කළ යුතු බව සම­හරු කීහ.

“උඹ­ලට මතක ද සුජී….? අපිත් එක්ක ඉස්කෝලේ ගියේ …? දැන් ඌ ඉන්නේ මාතර ටවුම කිට්ටු­ව­මයි. අපට ඕන ස්පෙෂල් බොට්ල්ස් එයා­ගෙන්…..”

දිමු පැව­සු­වේය.

“වෙසක් එකට බාර් වහලා….”

යසි­රුට කියැ­වුණි. සිය­ල්ලෝම එක පොදි­යට හඬ­නඟා සිනා­සු­ණහ.

“අම්මෝ… මේ… යසිරු තව­මත් මොන්ටි­සෝරි බබෙක් නේ….? අපිත් එක්ක හිට­පන්කෝ… එත­කොට ඔය බබා ගති හේදිලා යයි.”

“ඒවට දැන් සති­යක විතර ඉඳලා සුජී රෙඩී. ගෙදර ගෙනත් තියෙ­නවා කිව්වා බඩු.”

“වෑන් එකේ තියා­ගෙන සෙට් වෙමු.”

සිය­ල්ලෝම චාරි­කාවේ මුල, මැද, අග මැන­වින් සංවි­ධා­නය කොට තිබිණි. යසි­රුට මේ සියල්ල ආග­න්තු­කය. තම වෘත්තීය සග­යන් පව­සන පරිදි යසි­රුගේ ජීවි­තය ද වෙනස් කර ගත යුතුව ඇත.

“අයියා… කෑම කන්න එන්න.”

පොඩි නංගි රාත්‍රී ආහා­රය සඳහා කරන ඇර­යු­මත් සමඟ යසිරු තිගැ­ස්සුණි.

“බඩ­ගිනි නෑ නංගි. මං නිදා ගන්නවා. හෙට උදෙන්ම නැඟි­ටි­න්නත් ඕනනෙ.”

යසිරු කාම­රයේ සිටම පැව­සු­වේය. මව, පියා සහ නැඟ­ණි­යන් ඉදි­රියේ මුහුණ දීමට තරම් ආත්ම ශක්ති­යක් නොමැති සේ, යසි­රුට දැනුණි. එහෙත්… මිතු­රන් සමඟ මේ ගම­නට එක් නොවු­ණ­හොත් ඊළඟ සතියේ කාර්යා­ලයේ දී යසිරු ඔවුන්ගේ සම­ච්ච­ල­යට ලක් වීම අනි­වා­ර්යෙන්ම සිදු­වනු ඇත.

යසිරු තම ගමන් මලු සකස් කොට යහනේ වැති­රුණේ ය. ඒ රාත්‍රියේ දී ඔහුගේ හද­වත විශාල පීඩ­න­ය­කට ලක් වෙමින් තිබිණි.

හිමි­දිරි පාන්දර ඔහු අවදි වූයේ ජංගම දුර­ක­ත­න­යෙන් ලැබූ එලාම් සංඥා­වෙනි. කඩි­න­මින් ගමන සඳහා සූදා­නම් වූ යසිරු.

“නංගි…මං යනවා…”

යැයි වැඩි­ම­හල් නැඟ­ණි­යට පවසා නි‍ෙවසේ ඉදි­රි­පස දොර­ටු­වෙන් පිට වූවේය. නි‍ෙවසේ සිය­ල්ලෝම පිබිදි ඇති බව දැනුණ නමුත් මව සහ පියාට කතා කිරී­මට තබා ඔවුන්ගේ මුහුණු බැලී­මට තරම් ශක්ති­යක් ඔහුට නොති­බිණි. ගමන් මල්ල වම් උර­හි­සෙහි එල්ලා ගත් යසිරු කඩි­න­මින් ඉදි­රියේ ඇති සිවු­මං­සල කරා ගමන් කළේය. මිතු­රන් පැවසූ පරිදි ඔවුන් කුඩා වෑන් රථ­ය­කින් එහි ළඟා වෙනු ඇත. මුලදී ඔවුන් නි‍ෙවස අස­ල­ටම ඒමට සූදා­නම් වුවත් යසිරු එලෙස පැමි­ණීම මඟ හැරි­යේය. ඒ නි‍ෙවස අස­ලදී ඔවුන්ගේ සිනා හඬ සහ කතා බහ නිවැ­සි­යන්ට ඇසේවි යැයි යසිරු සිතු බැවිනි.

“කර­දර වෙන්න එපා. වෙලා­වට මම එතැන ඇති.”

යසිරු තර­යේම පැව­සු­වේය. යසිරු නිය­මිත ස්ථාන­යට ආ සැනෙන්ම වෑන් රථය ද පැමි­ණි­යේය. මිතු­රන් දොළොස් දෙනෙක් පමණ එහි වූහ.

“එහෙ­ම­නම් දැන් යසි­රුත් අපේ බෝට්ටුවේ.”

ඔවුහු එක හඬින් පැව­සූහ. යසිරු නැඟ­ගත් වහාම වෑන් රථය නැවත ගමන ආරම්භ කළේය. ගමේ විහා­ර­ස්ථා­නය පසු කර යත්ම යසිරු කවු­ළු­වෙන් එබී බැලු­වේය. පොඩි හාමු­දු­රුවෝ කිහිප නමක් යුහු­සු­ලුව පන්සල් භූමිය අම­ද­මින් සිටි­යහ. සිල් සමා­දන් වීම සඳහා පැමිණි උපා­සක උපා­සි­කා­වන් පන්සල් භූමිය තුළ දැකිය හැකි විය. මව සහ පියා ද තව ස්වල්ප මොහො­ත­කින් පන්ස­ලට පැමි­ණෙනු ඇත. දන්සලේ කට­යුතු සඳහා ඉදි­කර ඇති කුඩා ටක­රන් ශාලා දෙකකි. යසි­රුගේ සිත නැව­තත් ව්‍යාකූල විය. තමා යන මේ ගමන පිළි­බ­ඳව ඔහු තුළ පව­තින්නේ චංචල බවකි.

පිටු­පස ආස­නයේ සිටින මිතු­රන් අත­රින් ඩොලැ­ක්කි­යක නාද රටා­වක් ඉදි­රි­යට ගලා ආවේය.

“අපෝ දැන්ම ඕන නෑ. පටන් ගත්ත ගමන්ම ෆන් එක ගන්න එපා. තව ඉස්ස­ර­හට තියා ගමු.”

ජීවා කෑ ගැසු­වේය.

“ඔව්… ඔව්… සුජිගේ ස්පෙෂ­ල්ව­ලින් දවල්ට සප්පා­යම් වෙලා පොල්හේන බීච් එකෙන් නාලා ඊළ­ඟට දාමු ජොලි­යක්…”

තීක්ෂණ පැව­සුවේ සැවොම සිනා­ග­න්ව­මිනි. යසිරු නිහ­ඬය.

“ඔ… ඔන්න… ඔන්න දන්ස­ලක්”

නෝනා­ගම හරහා පාරේ මාතර දක්වා ගමන් කිරීම ආරම්භ වුවා පමණි. ජීවා උස් හඬින් පැව­සීය. ඉදි­රි­යෙන් කිරි කෝපි දන්ස­ලකි. හිමි­දිරි පාන්දර හිස්බඩ පැමිණි සැමට කිරි කෝපි විශාල අස්වැ­සි­ල්ලක් විය.

“නංගි­ලාට පිං… මේ වෙසක් පෝයට දාන­යක් දුන්නා කියලා හිතා ගන්නකෝ.”

නිරෝ­ෂන් පැව­සු­වේය. නව යොවුන් වියේ පසු­වන තරු­ණියෝ කඩි­ස­රව ඒ මේ අත දුව­මින් සැමට සංග්‍රහ කිරී­මට යුහු­සුලු වූහ.

“නඟිමු නඟිමු ”

සිය­ල්ලෝම නැවත රථ­යට ගොඩ වූහ.

“ඔන්න බලා­පල්ලා හිත හොඳින් වැඩක් කරන කොට හැම දේම ලැබෙන හැටි.”

“යසිරු කොහොම ද? ගමේ දන්සල් කරන්න ගියා නම් ලැබෙයි ද මේ වගේ ගැම්මක්”

යසි­රු­ගෙන් තොර මාතෘ­කා­වක් ඔවුන්ට නොමැති වූවා සේ විය. යසි­රුට ඒ පිළි­බ­ඳව ඇති වූයේ කල­කි­රී­මකි. මඟ දෙපස සෑම පන්ස­ල­කම බෞද්ධ කොඩි ලෙළ දෙන අපූරු සිතු­ව­මක් මෙන් විය. ඒ මොහොතේ රථය තංගල්ල නග­ර­යට ආසන්න වෙමින් තිබිණි.

ඉදි­රි­යෙන් බෞද්ධ කොඩි­යක් පාර හරහා ප්‍රද­ර්ශ­නය විය. කුඩා දරු­වෙකු එම කර්ත­ව්‍ය­යට සහ­භාගි වෙමින් සිටියේ සිනා­මුසු මුහු­ණෙනි.

“ඔ …ඔන්න රොටී දන්ස­ලක්. ෂා මරුනේ…. රොටී සමඟ කට්ට සම්බෝල. කහ­ටත් තියෙ­නවා”

ඉදි­රි­පස අසුනේ සිටි ධනුෂ් එසේ කීවේය.

“නව­ත්වන්න නව­ත්වන්න”

සිය­ල්ලෝම කල­බ­ල­යෙන් හඬ නැඟුහ. එය අරු­ණලු තරුණ සමා­ජයේ සංවි­ධා­න­යක් ලෙස බැන­ර­යක සඳ­හන්ව තිබිණි. ටක­ර­න්ව­ලින් ආව­ර­ණය කරන ලද කුඩා ශාලා­වක ප්ලාස්ටික් පුටු පනවා තිබිණි.

“කමු… කමු…”

සිය­ල්ලෝම ඉක්ම­නින් අසුන් ගත්තෝ ය. සැමට කැන්ද කොළ මත තබා උණු උණු රොටී ලැබිණි.

“අයි­යලා දුර ඉඳලා වෙන්නැති….”

එහි සිටි සැම ඉතා සුහ­ද­ශී­ලීව සංග්‍රහ කළහ.

“කාපං බඩ පිරෙ­න­කම්….”

ජීවා ඉතා පහත් හඬින් පව­සන අයුරු යසි­රුට ඇසුණි. අද වැනි දින­යක ඔවුන් ඉතා බැති­මත්ව ලබා දෙන දන්සල ජීවා සම­ච්ච­ල­යට ගෙන ඇති ලෙසකි.

ආහාර අනු­භ­ව­යෙන් පසු යසිරු මහා මාර්ගය අස­ලට පැමි­ණි­යේය. ඔහු සමඟ තිවංක ද විය. ඒ සම­ඟම මාතර ඇඹි­ලි­පි­ටිය බස් රථ­යක් වේග­යෙන් අවුත් ඔවුන් අසල නතර වුණි.

“එන්න අයියේ”

දන්සැලේ තරුණ කැල රියැ­දුරු මහ­තාට ආරා­ධනා කළහ.

“බෑ මල්ලි… ටයිම් එකට යන්න ඕනි. නැත්නම් ලෝක ලෙඩේ. පිං හැමෝ­ටම”

රියැ­දුරු කවු­ළු­වෙන් මුහුණ එළි­යට දමා පැව­සු­වේය.

“තිවා මං යනවා ගෙදර මේ බස් එකේ. මං ගියා කියන්න අනිත් අය­ටත්”

අතින් සංඥා කළ යසිරු දිව ගොස් බස් රථ­යට ගොඩ වූවේ ය. තවත් හෝරා­ව­කින් පමණ ඔහු ඇඹි­ලි­පි­ටි­යට ළඟා වනු ඇත.


Nissanka Rajapaksa

unread,
May 17, 2025, 10:15:23 PMMay 17
to INDRAKA group
28
'Reminds me of Sunshine'
(සහස් පියවර කෙටි කතා පොතෙන්) 

- හෙල්මලී ගුණතිලක 

දුම්රියපළ කවදත් මේ වෙලාවට හරිම කලබලයි. රාජකාරියට යන එන්නන්ගේ බැරෑරුම් මූණු අතරේ පාසල් දරු දැරියන්ගේ කෙළිකවටකම් පිරිලා. උදේ හත පහු වුණත් අද නම් ඉර පායන්නේ නැති හැඩයි. කළු වලාකුළු ගොන්නක්ම පේන මානයක් යනකම්ම අහසේ තෙරපිලා. සීත සෘතුව නිමවෙන්න ළඟ වුණත් තාම මේ වගේ අඳුරු වැහි බර දවස් නම් නිමක් නැහැ. මේ දුම්රියපළ, වේදිකා හය, පිටවීම් දොරටුව ළඟ පුංචි කෝපි හල, ඈතින් පේන කොළ හැලුණු ජකරන්ඩා ගස් පෙළ, රේල් පීලි අස්සේ කෑම හොයන මුහුදු ලිහිණි රංචුව, මේ හැම එකක්ම හැමදාම මේ විදිහමයි. මේ හැම එකක්ම හීනි තාලයක් එක්ක මගේ සිතිවිලි අතරේ ගැවසුණු කාලයකුත් තිබුණා.
ඉඳහිට දැවටෙන සීතල සුළඟට මුළු ඇඟම හිරිවැටෙනවා. මට මේ සීතල කරදරයක් උනාට මගේ වටා උන්නු බොහෝ දෙනා එය ගණන් ගන්නේවත් නැති හැඩයි. අදත් ගෙදරින් එළියට බහිද්දී පුරුද්දට වගේ මම මගේ කහපාට මෆ්ලරය දවටා ගත්තා. මේ දවස් ටිකේම, ඇඳුමට නොගැළපුණත්, උදේට විහිදෙන ලා ඉර එළියට නොගැළපුණත් ගෙදරින් පිටවෙද්දී මේ මෆ්ලරය මගේ අතේ රැඳුණා.

“ඒකට තමයි මම කැමතිම!"

ඒ ගැන විමසූ හැම කෙනාටම මම කිව්වා. ඒත් ලාච්චුවක පත්ලෙන් මේ මෆ්ලරය මම ආයෙත් හොයාගත්තේ මේ සීතල දවස්වල ඒකේ උණුහුම මට වුවමනා නිසාද? තාම ඒ වූල් කැරලි අතරින් පුරුදු ලා සුවඳක් හමන නිසාද? එහෙම නැත්නම්... ඇත්තම කියන්න මගේ හිතට බල කරනවානම්, දවස් අටකට උඩදී ඔහුව නැවතත් දුටුව නිසාද?

“එහෙමම කියන්න බෑ..”. මම මා එක්කම තර්ක කළා... “ඒ කෝච්චිය වැඩිම වුණොත් විනාඩි තුනක් නවත්තාගෙන ඉන්න ඇති මෙතැන...මිනිස්සුත් පිරිලා හිටියේ.. ඒ ටිකට කොහොමද කෙනෙක් අඳුනා ගන්නේ? මේ තරම් කලබල වෙලාවට?”

ඒ කොහොම වුණත් අමතක කිරීමට බැරි බවේ තදබල රෝගයකින් පෙළෙන මට ඔහු යන එන වෙලාවල්, යන එන දුම්රිය එක්ක ඒ දුටු දසුන ගැලපෙන බව අමතක කරන්න බැරි වුණා. ඒ තත්පරය මතක් වී දුම්රිය එන තුරු සීතල ලී බංකුවේ ඉන්න මට, මේ මහා සෙනඟ මැද මොහොතකට හුස්ම හිරවෙන තරමේ තනිකමක් දැනුණා.

එදාත් අද වගේම ඈත ජකරන්ඩා ගස් හිස් වෙලා තිබුණු දවසක්. මේ බංකුවේම සීතල නොදැනුණු දවසක්.

"මට නම් බෑ හීතල කාලෙට වේලාසන එන්න!" මම නෝක්කාඩුවක් කිව්වා. "මාව මැරෙන්න යනවා හීතලේ!"

එහෙම කිව්වාට මම නොවැරදීම වේලාසනින් එන බව අපි දෙන්නාම දැනගෙන හිටියා.

"මේක හීතලක්යැ ළමයෝ?" ඔහු හිනාවක් සඟවන්න තැත් කරමින් කීවා. "ඕනනම් දාසයක් විතර ඇති!"

"ඇත්තද? දාසයයි වගේද පේන්නේ?"ඔහු ඉදිරියේ වටයක් කැරකෙමින් මම හිනාවුණා. "නියමයිනේ!!"

ඊළඟ දවසේ එද්දී ඔහු අතේ ලස්සනට එතූ පුංචි පාර්සලයක් තිබ්බා. දුම්රියපළේ කලබලය මැද්දේම පුංචි දැරියක් වගේ මා කඩිමුඩියේ ඒ පාර්සලය ලෙහා බැලුවා. ගන වූල් නූලෙන් අමුතු රටාවකට ගෙතූ කහ පාට මෆ්ලරයක් මගේ අතැඟිලි අතරේ දැවටුනා.

"සීතලට කියාපු දේ!" එය සිපගනිමින් මා සිනාසුණා. "ඒත් කහ පාට?.. මට කහ පාට ඇඳුමක්වත් නැහැ!"

ඔහු එය මගේ දෑතින් ගෙන සීරුවට මගේ ගෙල වටා දැවටුවා.

"To remind you of sunshine!" මා වෙත පහත් වී ඔහු රහසින් මිමිණුවා.

ඊට පස්සේ කොයිතරම් නම් දුම්රිය මෙතැනින් යන්න ඇතිද? කොයිතරම් නම් මිනිස්සු මේ වේදිකාවල බලාගෙන ඉන්න ඇතිද? පුංචි දේවල් වෙනස් වෙන්න ලොකු කාලයකුත් ලොකු දේවල් වෙනස් වෙන්න පුංචි කාලයකුත් තරම් වෙන බව මම ඉගෙනගත්තේ මෙතැනදීද? කොහොම වුණත් සමහර දේවල් නම් කවදාවත් වෙනස් වෙන්නේ නැති බවත් මම ඉගෙනගත්තෙත් මෙතැනදීමද?

මගේ සිතිවිලි පෙළ නතරකරමින් මගේ ඉදිරිපස දුම්රියක් මහා හඬින් විත් නැවතුණා. හිස ඔසවා බැලූ එක තත්පරයකදී නැවතත් ඒ හුරුපුරුදු දෑස මා දෑසේ ගැටුණා. ඒ දුම්රිය පිටව යන තෙක්ම මා දෑස ඉන් මුදාගෙන බිමට යොමුකරගත්තේ ඉනූ කඳුළු ඔහු දකීවි යැයි බියෙන්. මෙතෙක් කල් සීතලෙන් මිදීමට මට උපකාරී වූ කහ පැහැති මෆ්ලරය ඒ මොහොතේ කඳුළු සැඟවීමටත් මට පිහිට වුණා.

දුම්රිය පිටවී ගොස් මොහොතකින් කෙටි පණිවිඩයකින් මගේ ජංගම දුරකථනය දෙදරුවා. නොසිතාම, පුරුද්දට මෙන් මා එය වෙත නෙත් යොමු කළා.

"Reminds me of sunshine!" එහි සටහන් වී තිබුණා.

 

Nissanka Rajapaksa

unread,
May 18, 2025, 9:23:31 PMMay 18
to INDRAKA group
29
ලොකු අයියා

ලියෝ ටෝල්ස්ටෝයිගේ Boyhood කෘතියෙන් 






Nissanka Rajapaksa

unread,
May 19, 2025, 8:10:31 PMMay 19
to INDRAKA group
30
දෙමර අතර

- කුමාරතුංග මුණිදාස











Nissanka Rajapaksa

unread,
May 20, 2025, 7:54:41 PMMay 20
to INDRAKA group
31
බත් ලෑල්ල

- සු.ප්‍රි. සමරසිංහ

මිදුලේ රඹුටන් ගස යට කණුවක් සිටුවා, ඒ මත ලෑල්ලක් ගසා, ලේනුන්ට කෑම තබන්නට සාදන ලද බත් ලෑල්ලට මා වතුර භාජනයක්ද එක් කළේ මෑතකදීය. ඒ, පෑවිල්ල කාලේ වතුර සොයන්න සතුන් වෙහෙසෙන ආකාරය දක්නට ලැබුණු නිසාය.

ගෙදර ඉතිරි වන කෑම තැන තැන දමන්න පුරුදුව සිටි අප මෙවැනි තැනක් පිළිවෙළකට සකස් කළ යුතුය යන අදහස පළමුවෙන්ම ඉදිරිපත් කළේ බිරියය. ඒ ඇය අපේ කේන්දර බලන්නට ගිය විටක, කේන්දරකරු දුන් උපදෙසක් අනුවය. අපේ පවුලේ අපල වෙනුවෙන් සතුන්ට කෑම තබන ලෙසත්, එය පිළිවෙළකට කරන ලෙසත් ඔහු පවසා ඇත.

මා ඒ ගැන එතරම් උනන්දු නොවුණත් බත් ලෑල්ල සවි කළේ බිරියගේ පෙරැත්තය නිසාය. එතැන් පටන් රඹුටන් ගහ යට බත් ලෑල්ලට, බත් හා වතුර තබන්නේ බිරියය. ඇය එය වතාවතක් ලෙස දිනපතා සිදු කරන්නීය.

මම පසුගිය දින කිහිපයක සිට අසනීපයෙන් පසු වන බැවින්, නිවාඩු දමා ගෙදරට වී සිටිමි. බිරියද වැඩට ගිය පසු, මම පමණක් තනි වෙමි. පුතා හා දුව පාසල් ගොස් අමතර පන්තිද ගොස් නැවත එන්නේ හවසටය. උදයේම කිසිවකු ලවා පත්තරය ගෙන්වාගෙන, එය බලන්නට මා ඉඳගන්නේ ඉස්තෝප්පුවේ තබා ඇති හාන්සි පුටුවේය. ඉස්තෝප්පුවට හොඳහැටි හිරු එළිය වැටී ඇතත්, රඹුටන් ගහ නිසා සිහිලක් ලැබෙයි.

ලේනුන් එකා දෙන්නා බත් ලෑල්ලට එන්න පටන් ගත්නේ, මා පත්තරය කියවන අතරය. මගේ ඇස් වරින් වර පත්තරයෙන් එදෙසට හැරවෙන්නේ ලේනුන් දෙස බැලීමටය. උන් ගසින් ගස මාරු වී අවසානයේ රඹුටන් ගසට පැමිණෙන්නේ අතුරු පාරේ පසෙකින් ඇති ඕවිටේ සිටය. ලේනුන් එකා දෙන්නා පැමිණ, පළමුව සෝදිසි කොට, බිය සැක හැර අවදානමක් නැති බව දැන, හෙමින් බත් ලෑල්ලට ගොඩ වෙයි.

දැන් දැන් මයිනන්, කවුඩන්, පොල්කිච්චන්, දෙමළිච්චන්, කොණ්ඩයන් ආදි නොයෙක් කුරුල්ලන්ද පැමිණෙන්න පටන් ගෙන තිබේ. මෑතදී කපුටකු පැමිණ ආධිපත්‍යය පෙන්නන්න පටන් ගෙන ඇති බව මා දුටුවේ ඊයේය. ඌ ලේනුන් බය කරමින් කෑදර ලෙස බත් ගිල දමයි. පළල් හොටය වතුර භාජනයට ඔබා වතුර විසුරුවමින් යහමින් වතුර බොන ඌ අවසානයේ හොටයද හෝදාගනී.

කවුඩා ලේනුන් බය කරන්නට බළලකු මෙන් කෑගසයි. එවිට උහු බිය වී කෑගසමින් ඈතට වී සිටිනවා මිස, රඹුටන් ගහ අහලකටවත් නොඑති. කහ පාට තඩි බළලා ගහ මුල නිසොල්මනේ රැක සිටින්නේ, ලේනකු හෝ කුරුල්ලකු ඩැහැගෙන යෑමටය. ඌ දුටු සැණින් මම ඌ එළවා දැමීමි. මා ගැන කිසි තැකීමක් නොකරන බළලා කිසිවක් සිදු නොවූ ලෙස එතැන මඟහැර යයි.

දැන් රඹුටන් ගහ යට එකම සැණකෙළියකි. විවිධ නාද නඟන කුරුල්ලන් එකිනෙකා පරයමින් ශිල්ප දක්වන්නේද, ලේනුන් එකා පසුපස එකා හඹා ගොස් කුලල් කාගන්නේද, කොණ්ඩ කුරුලු ජොඩු පෙම් කෙළින්නේද රඹුටන් ගසේ සිටය. උහු විටෙක සමූහ වාදන පවත්වන්න පටන්ගනිති. පොල්කිච්චා පිහාටු පුම්බමින් රඟයි; ගයයි. විනෝද වන කවුඩාගේ පෙඳය නිතර නැටවෙයි.

උදේ පාන්දරම කුරුලු නාද හතරවටින් ඇසුණත්, උන් රඹුටන් ගහට එන්නේ හත-අට වන විටය. දවල් දොළහ පමණ වන තුරු පවතින මේ කලබලය නැවත පටන් ගන්නේ හවස දෙකට පමණය. ඉන් පසු හතර-පහ වන තුරු රඹුටන් ගහේත්, බත් ලෑල්ලේත් කෙළිදෙළෙන් පසු වන උහු ඉන් අනතුරුව අතුරුදන් වෙති.

දෙමළිච්චන් එන්නේ දවසට දෙවාරයකි. ඒ, උදේ දහයටත් හවස තුනටත්ය. මහා ඝෝෂාවක් නඟමින් කඩාවදින උන් බත් ඇට අහුලා කමින්ම යන්නේ කලබල වූ පෙරහරක් යන පරිද්දෙනි.

ඉඳහිට නම නොදන්නා කුරුල්ලන්ද එන්නට පටන් ගෙන ඇත. උහු සංචාරක කුරුල්ලෝ විය යුතුය. මා නොදන්නවාට උසස් පෙළට සත්ත්ව විද්‍යාව හදාරන දුව උන් ගැන දන්නා බවට සැක නැත. නිවාඩු දිනයක ඇයට මේ කුරුල්ලන් පෙන්විය යුතුයැයි කල්පනා කළත්, ඒ සඳහා වේලාවක් නැති තරම්ය. සතියේ දවස් හතම ටියුෂන් පන්ති හෙයින් වටපිටාව බලා රස විඳින්නට, ඉන් ඉගෙනගන්නට ඔවුන්ට ඉස්පාසුවක් නැති ගානය.

සුරතලයට සතුන් ඇති කිරීමේ පිස්සුව අද ළමයින්ට එතරම් නැතත්, පාසල් යන කාලේ ඒ පිස්සුව මට තිබුණේය. පාසල් යන කාලයේ අප සුරතලයට ඇති කළේ ලේනුන්, මයිනන්, ගිරවුන් හා මාළුන්ය. අද ළමයින් පමණක් නොව, තරුණ වැඩිහිටි අය පවා පරෙවියන් හා ලව්බර්ඩ්ලා ඇති කරන්නේ එවැනිම පිස්සුවකිනි.

දැන් නම් අපේ ගෙදර බල්ලකු බළලකුවත් ඇති නොකරයි. ගෙදර ආරක්ෂාවට බලු පැටියකු හා මීයන්ගෙන් ආරක්ෂාවට බළල් පැටියකු ගෙනැවිත් හදමුයි බිරිය කිහිප විටක් කීවත්, මගේ උනන්දුව නැතිකමින් එය මෙතෙක් ඉටු නොවුණේය.

මගේ සිත පුවත්පත ගැන අවධානයෙන් මිදී, බොහෝ ඈතට ගොස් ඇත. පුවත්පත බිම වැටී ඇත. මම පුවත්පතද ගෙන ගෙතුළට යමි. නෙතද සිතද ගතද වෙහෙසට පත්ව ඇත.

අසනීපය සුව වී, සුපුරුදු පරිදි රැකියාවට යෑමට පටන් ගැනීමෙන් පසු ලේනුන් ගැන මතකය මගෙන් ඈත් වෙමින් තිබිණි.

එහෙත් එක් දවසක්, එදින උදයේ තබන ලද බත් එලෙසම තිබෙන බව මා දුටුවේ සවස වැඩ ඇරී ගෙදර ආ මොහොතෙහිය. ලෙනුන් හෝ කුරුල්ලන් එකකු හෝ පැමිණ නැත. කුමක් හෝ සිදු වී ඇත. හතර වටින් වැහිබීරමක ලකුණු පෙන්වූ බැවින් මම බත් තබා ඇති භාජනය වසා ගෙට පැමිණියෙමි. රාත්‍රී සුපුරුදු දිනචර්යාවට අනුගත වූ පසු ඒ සිදුවීම මට සහමුලින්ම අමතක විය.

පසුදා නිවාඩු දිනයකි. මා උදෑසනම කෑම තබන්න ගිය විට දුටුවේ වෙනදා උදෙන්ම පැමිණෙන ලේනුන් තවම පැමිණ නැති බවය. එහෙත් රඹුටන් ගසේ ඉහළ අතුවල සිට ලේන්නු නොනවත්වාම හඬ නඟමින් සිටිති. එය නිකම්ම හඬ නැඟීමක් නොව අනතුරු හැඟවීමක් බව මට තේරුම් තේරුම් ගියේ ටික වෙලාවක් ගත වූ පසුවය. මා ගස මුලත් එහි අවටත් හොඳින් නිරීක්ෂණය කළේ සිදු වී ඇති දේ තේරුම් ගැනීමටය. ගැරඬියකු හෝ වෙනත් සර්පයකු දුටු විට ලේනුන් සහ කුරුල්ලන් මෙසේ අනතුරු අඟවන බව මම අත්දැකීමෙන් දැන සිටියෙමි.

මට කාරණය වැටහුණේ බත් ලෑල්ල අසලම ඇති මල් පඳුර මුල දුටු විටය. එහි ලේන් වල්ගයකි. දඩයම සිදු කරන්න ඇත්තේ ඊයේ අප නිවෙසේ කිසිවකු නැති අවස්ථාවේ විය යුතුය. දඩයක්කාරයාද මල් පඳුරට මුවා වී නිසොල්මනේ රැක සිටියේ තවත් ගොදුරක් ඩැහැගැනීමටය. ඌ මා මීට පෙරද දුටුතැන එළවා දැමූ කහ බළල් තඩියාය. ඌ කොහෙන් හෝ අහල-පහල නි‍වෙසකින් පැමිණියෙක් විය යුතුය.

මම වහාම බත් ලෑල්ල වෙනත් තැනකට ගෙන ගියෙමි. ඉන් පසු මල් පඳුර කප්පාදු කළේ බිරියගේ ප්‍රතිචාරය කුමක් විය හැකිද යන්න ගැනවත් නොසිතාය. එහෙත් කිසිවකු බත් කෑමට පැමිණියේ නැත. ලේනකු දෙන්නකු පැමිණ වරින් වර නිරීක්ෂණ චාරිකාවක යෙදුණත්, උන්ගේ බිය තවම පහ වී නැත. අලුත් තැනට පුරුදු වීමට උන්ට දින කිහිපයක් ගත වන බව සිතිය හැකිය.

දහවල් වන තුරු ම පැවතියේ මේ පාළු ස්වභාවයයි. මම ඉස්තෝප්පුවට වී පොතක් කියවමින් අවට නිරීක්ෂණය කරමින් සිටියෙමි. රඹුටන් ගහ සහ අවට තහනම් කලාපයක් බවට පත් වී ඇති සේය. රඹුටන් වාරයේදී නම් එක ගෙඩියක් හෝ අපට නොදී, ලේනුන් රඹුටන් ගස සිය භුක්තියට අයිති කරගැනීම ගැන බිරියගේ සිතේ අමනාපයක් ඇති වුවත්, ලේනුන්ට මුහුණ දීමට සිදු වී ඇති ව්‍යසනය ගැන ඇයගේ සිත කනස්සල්ලට පත්ව ඇත. ලේනුන්ට කෑම දීමේ පරමාර්ථයෙන් බත් ලෑල්ල රඹුටන් ගහ යට සවි කළත්, උන්ගේ ජීවිත අනාරක්ෂිත බවට පත් කිරීම නිසා මගේ හිතේ ඇති වූ කනස්සල්ලද දින කිහිපයක් ගත වුවද තවම සිතට වද දෙයි.

එහෙත් දින කිහිපයකින් උන් සියලු දේ අමතක කොට ඇති බව පෙනෙයි. අද රඹුටන් ගහ ළඟින් නැවතත් සුපුරුදු කලබලය ඇසෙන්න පටන් ගෙන තිබේ. මම යළිත් වරක් බත් ලෑල්ල රඹුටන් ගහ යට කලින් තිබූ තැනම සවි කළෙමි.


Nissanka Rajapaksa

unread,
May 21, 2025, 10:43:14 PMMay 21
to INDRAKA group
32
කොහෙද ඉන්නේ ...?
ලොකේෂන් එක දාන්න ....

- මංජුල සේනාරත්න 

"ඔයා කොහෙද ඉන්නේ ..? " මම ශානිකා ගේ දුරකතනයට පණිවුඩයක් යැව්වෙමි . ගෙවුණු සති දෙක පුරා සෑම සවස් යාමයකම මෙසේ යැවූ පණිවුඩ වලට ඇයගෙන් පිළිතුරක් ලැබුණේ නැත. එහෙත් මේ සෙනසුරාදා සවස් යාමයේ නොසිතු ලෙස ඇය පිළිතුරු දුන්නාය . 
"මොන්පරනාස් වල .."
"ඇයි මොන්පරනාස් ගියේ ..? "
"වැඩකට .."
"ලොකේෂන් එක දාන්න ..."
   තත්පර දෙක තුනක් ගත වෙද්දී ඇය තමා සිටින තැන පෙන්වන ලොකේෂන් එක මා වෙත යොමු කළාය . සත්‍ය වශයෙන්ම ඇය සිටියේ මොන්පරනාස් හන්දියේ නොව එඩ්ගා කිනේ දුම්රිය පළ අසළය . සෙනසුරාදා හවස් යාමයේ වෙනත් කිසිදු හේතුවක් නොමැතිව එඩ්ගා කිනේ දුම්රිය පොළෙන් පිටත විත් ඇය යන්නේ කොයි දිසාවටදැයි මම දැන සිටියෙමි . ඇගේ ගමනාන්තය කුමක්දැයි මම දනිමි . 
"ඔයා කොච්චර වෙලාවක් ඔතන ඉන්නවද ..? "මගේ යොමු වුණු තවත් පණිවුඩයකි .
"ගෙදර යන්න හිතෙන්නේ නැහැ . මම රෑ වෙනකං මෙතන ඉන්නවා ."
"ඔහොම ඉන්න . මම එන්නම් ඔයා ළඟට .."
"හා .. "

මා පැමිණෙන තුරු රැඳෙන ලෙස ඉල්ලා සිටියත් ඇය හමුවන්නට යාමේ කිසිදු වුවමනාවක් මට තිබුණේ නැත . එහෙත් මගේ පැමිණීම ඇය බලාපොරොත්තුවෙන් සිටියි . සැහැල්ලු කබායක් දමා ගත් මම නිවසින් පිටත බැස ගතිමි . එය කදිම සවස් යාමයකි . ශානිකා නිවසේ සිටියා නම් ඇයත් සමග , අසළ උද්‍යානයට වී පොතක් කියවන්නට තිබුණි .

විවාහයෙන් තුන් වසරක් ගත වෙද්දී සරු ජීවිතයක් සොයාගෙන ප්‍රංශයට පැමිණෙන්නට අපි තීරණය කළෙමු . අපේ දියණිය ෂෙනාලිගේ වයස අවුරුද්දක් පසු වූවා පමණි . මේ ගත වන්නේ අපේ පැරිස් ජීවිතයේ විසි වන වසරයි. 

ශානිකා රූමත් ගැහැනියකි . මගේ පෙනුම , ඇගේ රුවට කොහෙත්ම නොගැලපෙන බව , අපේ යෝජිත විවාහයේ මුල්ම පියවර වූ ඇගේ පළමු ඡායාරූපය දුටු විට මම තේරුම් ගතිමි . පැහැදිළි ලෙසම ප්‍රතික්ෂේප කිරීමේ බලාපොරොත්තුවෙන් ඇයව බලන්නට ගිය දිනයේ , ඒ රූමත් ගැහැනිය මා සමග සිනහ වූවාය . ජීවිතය බෙදා ගන්නට කැමැත්ත පළ කළාය . අප දෙදෙනාගේ නොගැලපීම ගැන දෙපැත්ත කැපෙන කතා වාතාශ්‍රයේ සතර අත සැරි සරද්දී ඇය මගේ සිරුරට බර වී , මුහුණට එබී බලා , සුරත තදින් අල්ලා ගත්තාය . 

පැරිස් නගරයේ ජීවිතය ආරම්භ කළ මුල් කාලයේ අපිට ජංගම දුරකථන නොවුණු නිසා ජීවිතය සරළ විය . අපි දෙදෙනාගේ දෛනික ජීවන රටාව එකිනෙකා දැන සිටි නිසා අවිශ්වාසය ගැන ප්‍රශ්න කිරීමක් ඇති නොවිණ . 
"ඔයා අද මොකද කරන්නේ ..?" ඇතැම් දිනක මම ඇසුවෙමි .
"තුනට වැඩ ඉවරයි . ශ්‍යාමලී එක්ක එයාදැන ට ජොබ් එකක් බලන්න යනවා . එච්චරයි .." එපමණකි . ඉන්නා තැන . ගිය තැන . ගෙදර එන වේලාවන් ගැන කිසිදු විමසීමක් නොවිණ . "ලොකේෂන් " කතා නැති කාලයේ අපි අතර පැවති විශ්වාසයේ කිසිදු අඩුවක් වූයේ නැත .

එහෙත් , අමාරුවෙන් රැක ගෙන සිටි කඩවසම් බවේ අවසන් ඡායාවන් පවා නගරයේ සිව් ඍතු පැමිණ මගෙන් උදුරා ගන්නට පටන් ගත් වෙලේ මම ශානිකා දෙස හොරැහින් බලා සිටියෙමි . ඇය වියපත් වීම අතහැර දමා තිබේ . ඇගේ සොඳුරු බව තවත් වැඩිවී පෙර ඇගේ සිහින් සිරුර දැන් යහමින් හැඩ වී ඇත . ඇය ජංගම දුරකථනය දෙස බලා යමක් කියවමින් සිහින් සිනහවක් මුවේ නගා ගෙන සිටියි . මා කිසිසේත්ම ඇයට ගැලපෙන මිනිසෙක් නොවේ . මේ විවාහයේ ඇය තව දුරටත් රැදෙනු ඇත්තේ දියණිය නිසා යැයි මට සිතුණි .
එහෙත් මගේ ගැහැනියගේ හැසිරීම් වල කිසිදු වෙනසක් නොදුටුවෙමි . පුරුදු පරිදිම ඇගේ ආදරය නිවස පිටාරා ගියේය . 

"ඔයා කොහෙද ඉන්නේ ...? " වසර දෙකකට පෙර දිනක මම ඇසුවෙමි .
"ලා චැපල් වල...?"
"මොකටද ලා චැපල් ගියේ ..? "
"බඩු ගන්න . වෙන මොනවටද..? මොකද වෙලා තියෙන්නේ ..? "
"ලොකේෂන් දාන්න .."
"මොකක් ..? "
"ඉන්න තැන ලොකේෂන් එක දාන්න .."
"හරි හරි ඉන්න .." එදා එසේ පළමු වරට "ඉන්නා තැන " ඔප්පු කර පෙන්වන්න යැයි දිනයේ රාත්‍රියේ ශානිකා මදෙස බලා සිටියාය . දෙතොලේ මතුවුණු පුංචි සිනහවකි .
"ඇත්තටම ඔයාට මං ගැන සැක හිතුනද ..?"
"නැහැ ."
"එහෙනම් මොකටද ලොකේෂන් දාන්න කිව්වේ .."
"ඉන්න තැන දැන ගන්න .."
"ඉන්න තැන මම කිව්වේ .."
"ඒක ඇත්තද කියලා බලන්න මට හිතුනා "
"ඇයි ඒ ..?"
"ලොකේෂන් දාන සිස්ටම් එක හදලා තියෙන්නේ යම් කෙනෙක් කියන දෙයක් ඇත්තද කියලා බලන්න .."
"නැහැ පියල් . ඒක හදලා තියෙන්නේ ඇඩ්‍රස් එකක් හොයා ගන්න . පාරක් තොටක් හොයා ගන්න . තමන්ගේ ගෑනිව සැක කරන පිරිමින්ට ඒ සැකය නැති කර ගන්න නෙමෙයි ." 
"ඔයාට ඕන නම් මමත් දාන්නම් ඔයා ඉල්ලන ඕනෑම වෙලාවක .."
"මට ඕනා නැහැ . "
"ඇයි ..? "
"මොකද මට ඔයාව අවිශ්වාස නැහැ .."
"ඔයා හිතනවා මගේ පෙනුමට ගෑනු බලන්නේ නැහැ කියලා එහෙම නේද ..?"
"ඔයා හිතනවද මගේ පෙනුමට පිරිමි බලනවා කියලා ..?"

එදා රාත්‍රියේ ඒ වදන් හුවමාරුවෙන් පසුව "ලොකේෂන් " ඉල්ලා සිටීම මගේ නරක පුරුද්දක් බවට පත් විය . ඒ සෑම අවස්ථාවකම ශානිකා නොපැකිළව තමන් සිටින තැන මගේ දුරකතනයට යොමු කළාය . 
"මොකද ලොකේෂන් එක එවන්න වෙලා ගියේ ..? "
"මම ඉන්නේ කඩේක . සල්ලි ගෙව ගෙව හිටියේ . මොකද ඔයාට ඇත්තටම වෙලා තියෙන්නේ . මොකක්ද මේ ලොකේෂන් සෙල්ලම ..?"
 
ලොකේෂන් ඉල්ලා සිටීමේ රෝගය උමතුවක් බවට පත් වී මගේ සිරුරේ ලැගුම් ගනිද්දී , මගේ ඉල්ලීම් වලට කිසි දිනක අකමැත්තක් ප්‍රකාශ කළේ නැත . තමාට නොපෙනන තැනක සිටින බිරිඳ ගේ ක්‍රියාකාරකම් , ඇගේ ගමන් බිමන් ගැන සැකයෙන් පසුවන සැමියෙකුගේ භූමිකාව අපහසු එකකි . තමන්ගේ ජීවිතය බෙදා ගන්නා සහකාරිය හෝ සහකරුවා ගැන සැකයක් සිතේ තබාගෙන ජීවත් වීම යනු නිරයක කල් ගෙවීමක් වැනිය . නිරයේ වාසය කළ සැමියා මම වීමි . මගේ දවස යන්තමින් හෝ සතුටට පත් වූයේ ශානිකා ගේ ලොකේෂන් එක මගේ දුරකථනයේ පතිත වූ පසුය . ඉන් අනතුරුව ඇය සිටිනා තැන සිට නිවසට පැමිණෙන්නට ගත වන කාලය සිතෙන් ගණනය කරන මම , පැමිණීම විනාඩි පහකින් ප්‍රමාද වූ විට කොහෙද ඉන්නේ ..? යැයි ලියා පණිවුඩයක් යවමි . ඉල්ලන්නටත් පෙර ඇය ලොකේෂන් එක එව්වාය . බොහෝ විට ඇය සිටියේ අප තට්ටු නිවාසය ඉදිරිපිටය . එසේත් නැතිනම් නිවසේ දොර අද්දරය .

ගෙවුණු සති දෙකක කාලය පුරා සෑම සවස් යාමයකම පුරුද්දකට මෙන් "ඔයා කොහෙද ඉන්නේ ..?" යන ප්‍රශ්නය ඇයට යොමු කළෙමි . ශානිකා පිළිතුරු දුන්නේ නැත . හේතුව මම දැන සිටියෙමි . "ලොකේෂන් දාන්න .." යන මගේ ඉල්ලීමෙන් ඇය වෙහෙසට පත්ව සිටින්නට ඇත . එහෙත් අද සෙනසුරාදා දිනයේ ඇය පිළිතුරු දුන්නාය . දැන් මම ඇයව හමු වන්නට යමින් සිටිමි . 

සත්‍ය වශයෙන්ම පණිවුඩය පැමිණියේ කෙසේදැයි මම දැන සිටියෙමි . එඩ්ගා කිනේ දුම්රිය පළෙන් පිටවී ඇය ඒවා තිබුණු ලොකේෂන් එක අනුව ගමන් කරද්දී , මා පැමිණ සිටියේ පසුගිය සති දෙක පුරාම දිනපතා පැමිණි ප්‍රදේශයටමය. අවසන් වරට අද උදෑසන මෙහි පැමිණියෙමි . පැය දෙකක කාලයක් ගත කළෙමි .
සුපුරුදු ස්ථානය වෙත යද්දී , බැංකුවක් මත වාඩි වී , තරමක් දුරින් ඇති කුඩා පස් ගොඩ දෙස බලා සිටින මගේ දියණිය දැක ගන්නට මට හැකිවිය . ඇගේ වම් කොපුල දිගේ ගලා බසින කඳුළු බිඳුවට රාස්සිගේ අව්ව වැටී දිලිසෙයි . මම ඇය අසළින් අසුන් ගතිමි . ඇය මගේ උරහිසට හිස තබා ගත්තාය .
"ඇයි ඔයා අම්මගේ මොබයිල් එක ළඟ තියාගෙන ඉන්නේ ..?"
"දන්නේ නැහැ . එයාගේ ෆෝන් එකට පාස්වර්ඩ් එකක් නැහැ . කිසිම මගුලක් නැහැ . නිකං පිටු ඇරලා තියන පොතක් වගේ . එයා කතා කරළා තියෙන්නේ අපි දෙන්නටයි , රාණි ඇන්ටිටයි , සුමේදා අන්ටිටයි විතරයි . එයාට හිටියේ අපි දෙන්නා විතරයි තාත්තී ..."
"මම දන්නවා දුවේ .."
"එයා ඔයාට ලොකේෂන් එවලා තියනවා දාහක් විතර ..ඔයා හැමදාම වගේ අහලා තියනවා .." කියන්නට කිසිවක් ඉතිරිව තිබුණේ නැත . මම නිහඩ වීමි . 
"දැන් ඔයා දන්නවා එයා ඉන්න තැන . ආයේ ලොකේෂන් අහන්න ඕනා නැහැ තාත්තී . එයා ආයේ කවදාවත් මෙතනින් හෙලවෙන්නේ නැහැ ..."

හරියටම දින 19 කළින් බදාදාවක මධ්‍යහනය ආසන්නයේදී ලැබුණු ඇමතුමකි . එය මගේ ලෝකය විනාශ කර දමන්නට සමත් විය .

රැකියාව කරන අතරතුරේදී , හිටිහැටියේම ඇගේ හදවත තම කාර්යය නවතා දමන්නට තීරණය කර තිබුණි . කිසිවෙකුත් නැති නිවසක , ඇගේ සොඳුරු මුහුණ සිමෙන්ති පොලොව සිප ගන්නා විට , ඇගේ සිරුර වෙව්ලා ගොස් දරා ගත නොහැකි සීතලක් පැමිණ ආත්මය මෙලොවින් පිටත ගෙන ගිය විටදී ඇය අසළ කිසිවෙකුත් සිටියේ නැත .

"දැන් ඔයාට ලොකේෂන් අහන්න කෙනෙක් නැහැ නේද ..? " 
"මට සමාවෙන්න දුවේ .."
"අපි මෙතන සොහොන් කොතක් හදනවා නේද ..? "
"ඔව් .."
"සතියකට සැරයක් අපි එමු .."
    මොන්පරනාස් සුසාන බිමට ඉහළින් අහසේ කළු වලාකුළු එකතු වෙමින් තිබේ . රාස්සියේ අව්ව යන්නට ගොසිනි . වැස්සක් ළඟ එයි . කුඩයක් අත නැත . 
"වහින එකක් නැහැ .." මම කීමි .
"වහින එකක් නැහැ .. ආයේ වැස්ස එන්න කළින් අපි සොහොන් කොත හදමු . එතකොට තෙමෙන්නේ නැතුව අම්මා නිදා ගනියි .."

වැස්ස ආවේ නැත . මාස ගණනක් යනතුරු වැස්සක් නොවටුණි . අපේ ජීවිත රැක ගත් දේවතාවියගේ දේහයට ඉහළින් සෙවනක් සාදා දුන් පසු වැටුණු වැස්ස නොනැවතී දින තුනක් පැවතුනා මට මතකය .

Nissanka Rajapaksa

unread,
May 22, 2025, 7:33:26 PMMay 22
to INDRAKA group
33

රතු සහ සුදු


චීන ජාතික Cheng Huizi ගේ Red and White කෙටි කතාවේ පරිවර්තනය
එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ විසිනි 

බසය මග හැරේ යැයි බියෙන් හයයි තිහට එලාම් එකක් තැබූ නමුත් මා අවදි වන විට හය පසුවී නොතිබුණි. අඳුරේ වැතිර මගේ ඇඟිළිවලින් දෑස් පිසදමා කුස්සියේ එහා මෙහා යන අම්මාගේ සෙරෙප්පු හඬට මම සවන් දී සිටියෙමි. මට ඊළඟට ඇසුණේ බඳුනක වතුර උතුරන ශබ්දය හා චොප්ස්ටික් වලින් අම්මා බිත්තර ගසන හඬයි. අවදිවීමෙන් පසු තලුගසමින් මා දුඹුරු සීනි සිරප්වලට දැමූ බිත්තර සාරුව ගිල දමන දෙස ඈ බලා සිටියාය.
පෙර දිනක කතාකරගත් පරිදි අපි බසයට ගොඩවීමු. බසයේ සිටි එක් අයෙක් ඔහුගේ මුව වැස්ම නිකට දක්වා පහත් කර ඩම්ප්ලිං එකක් කෑමට පටන් ගත්තේය. ඔහු අසල සිටි මිනිසාගේ තොප්පිය යටින් පැසුණු හිසකෙස් පහතට වැටි තිබුණි. සමහරවිට ඒ ඔහුගේ පියා විය හැකිය. ඔහු ඉතා පරිස්සමෙන් ඩම්ප්ලිං කෑවේ ය. ඔවුන්ට පිටුපසින් වාඩි වී සිටි කාන්තාව තම දියණියගේ රෝස පැහැති මුව වැස්ම නිසි ලෙස සැකසීමට ඉක්මන් වූවා ය. අප මංසන්ධියට ළඟාවන විට රියදුරා විසින් එක්වරම බසයේ තිරිංග යෙදීය. එසැණින් ඩම්ප්ලිං ගුලිය ඔහුගේ ඔඩොක්කුවට වැටුණි. පියාගේ උගුරේ කෑම හිරවෙන හඬ ඇසී පුතා ඉක්මනින් වතුර ටිකක් ඔහුට බීමට දුන්නේ ය.

උස් ගොඩනැඟිලි පසුකර ධාවනය වූ බසය අධිවේගී මාර්ගයට පිවිස, ක්‍රම ක්‍රමයෙන් භූ දර්ශනයෙන් ඈත්වෙමින් ඉන් පිට වූයේ ය. ගව්වෙන් ගව්ව බසය තැනිතලා හා වෙල් එළි පසුකරමින් ඉදිරියට ගියේය. අප ගමනාත්තයට එන්නට පෙර ඈතින් විශාල දුමක් නැගෙන ආකාරය මම දුටුවෙමි. ඒ අසලට ළං වන අවස්ථාවේ, රියදුරා කෑගැසුවේ,

“ලෝන්ග්මු.. ලෝන්ග්මු..! තම තමන්ගේ දේවල් අරගෙන බැහැගන්න!”

එසැණින් මම බසයේ කවුළුවෙන් පිටත බැලුවෙමි. විශාල දොරටු තුනක්, මට්ටම් පහක පියසි සහිත ආරුක්කු මග සහ ඉන් ඔබ්බට පුළුල් ශාලාව මම දුටුවෙමි. ආරුක්කු මගට සමාන්තරව ඈතින් විශාල ගඟක් ගලා ගියේය. එතැනට සමීපවීමේදී ශාලාවට පිටතින් විශාල භාජන කිහිපයක් විය. ඒ සෑම එකකම අසමාන උස හඳුන්කූරු වලින් පිරී තිබුණි. ප්‍රධාන ශාලාව ඉදිරිපිට වැඳගෙන සිටියවුන් සෑම කෙනකුගේම දෑත් අතර සුවඳ හමන හඳුන්කූරු කිහිපයක් රඳවාගෙන සිටිය හ.

ලෝන්ග්මු වැඳීමට යෑමට පෙර මකර මුව ඔස්සේ ගලා එන දිය දහරාවෙන් අම්මා මුහුණ සෝදාගන්නට නැමී සිටියාය. එය අවසන් කරන විට ඇගේ හිසකෙස් තෙත් විය. මා ද එලෙස කරනු ඇතැයි ඈ අපේක්ෂා කළාය. එයට මා කැමති වූයේ නැත. ඇය අසතුටට පත්වූවා ය. මා කලබල කිරීමට ඇයට අවශ්‍ය නොවීය.

“ඕනෑ තරම් වෙලාව තියෙනවා. ගිහින් සෝදා ගන්න. අපිරිසිදු දෑතින් නමස්කාර කරන්න හොඳ නැහැ!” ඈ මා දෙස බලා සිටියා ය. අම්මා අධෛර්යමත් කිරීමට ක්‍රමයක් නොමැති බැවින්, මා මුහුණ සෝදාගෙන තෙත තුවායෙන් ඉක්මනින් හිස, දෑත් හා දෙපා පිසදා ගතිමි.

අපි ප්‍රධාන ශාලාවේ වූ ලෝන්ග්මු ප්‍රතිමාව ඉදිරියේ සිට ගතිමු. බසයේ සිටි පියා සහ පුතා පෝලිමේ අපට වඩා ඉදිරියෙන් සිටි අතර කාන්තාව කුඩා දැරිය එක් අතකින් අල්ලාගෙන තරුණයාට සමීපව සිටියා ය. පියා සහ පුතා දණින් වැටී නළල තෙවරක් බිම තබා නමස්තාර කළේය. පසුව පියාට නැගී සිටින්නට පුතා උදව් කළේ ය. වැඩිහිටියා මොහොතකට පසුව අසල මේසයක් දෙසට ඇවිද ගියේ ය. මේසය මත දිගු පෙට්ටි දෙකක් තිබූ අතර, ඒ සෑම පෙට්ටියක් තුළම පෙට්ටි දෙකක් විය. එක පෙට්ටියක රතු මල් ද, අනෙක සුදු මල් ද විය. ඒ වන විටත් සුදු මල් සහිත පෙට්ටිය හිස් වෙමින් තිබුණි. තරුණයා සුදු කඩදාසි මලක් තෝරා ගෙන කාන්තාව අතට දුන්නේ ය. ඔහු දියණිය තමා අසලට ගත්තේ ය. තම අතෙහි එල්ලා ගෙන සිටි බෑගයෙන්, ඈ පූජා භාණ්ඩ රැගෙන තැටියක තබා ලෝන්ග්මු වෙත තුන් වරක් නමස්කාර කළා ය. ඇය තම නිවසේ ලිපිනය කොඳුරනු මට ඇසුණි. කාන්තාව මෙවර බලාපොරොත්තු වූයේ පුතෙකි. නොසන්සුන් වූ දියණිය මව වෙතට යෑමට ඇවිටිලි කරමින් දඟලන්නට වූවා ය. ඈ තම දියණිය අතටගත් සැණින් ඇය නැවතත් සංසුන් විය.

අම්මාගේ වන්දනා කිරීමේ වාරය පැමිණි විට, ඇයගේ බෑගයෙන් ඇපල් ගෙඩියක් හා මිදි පොකුරක්, ජුජුබ්ස්, රටකජු, හා නෙළුම් බීජ ඉවතට ගෙන තැටියක තැබුවා ය. එය හිසට උඩින් ඔසවාගෙන ඇය සෙල වූවා ය.

“ඉක්මනින් පුතෙකු බිහි කරන්න ලැබේවා” යි, පහත් හඬින් උච්චාරණය කළා ය.

ඇයට පිටුපසින් මම දණ බිම ඇනගෙන අම්මට වඩා ටිකක් හෙමිහිට එය පැවසුවෙමි. අළු හිසකෙස් කිහිපයකින් වැසී ගිය ඇයගේ තට්ටය දැක මම කම්පාවට පත් වූවෙමි. මගේ අම්මා යුවාන් සියයක මුදලක් කැටයට දමා නැවතත් පැවසුවේ,

“මගේ දුවට ඉක්මනින් පුතෙක් ලැබෙන්න ආශීර්වාද කරන්න. වේදනාවක් නොදෙන්න. හැම අවුරුද්දකම පැමිණ සුවඳ දුම් පූජාව කරමි.”

එවර උදාවූයේ කඩදාසි මල් තෝරා ගැනීමේ කාලය යි. මගේ මව එක් එක් වර්ණය බැගින් ඉල්ලා සිටියත්, මේසය අසල සිටි මිනිසා ඈ වෙත පැවසුවේ ඇයට තෝරා ගත හැක්කේ එක් වර්ණයක් පමණක් බවයි. එවර මට එකක් තෝරගන්න යැයි අම්මා පවසා සිටියා ය. එයට අකමැති බව මම පවසා සිටියෙමි. අම්මා මේසය ඉදිරිපිට සිටගෙන ටික වේලාවක් කල්පනා කළා ය. අවසානයේ සුදු කඩදාසි මලක් තෝරා ගත්තා ය. එය මගේ ඉදිරියෙන් අල්ලාගෙන නැවත ලෝන්ග්මු දෙසට හැරී වන්දනා කරන ලෙස පවසා සිටියා ය.

මම හිස ඔසවා බැලුවෙමි. තද රතු පැහැති තොල් සහිත අළුපැහැ මුහුණකින් යුතු හිස මත ඔටුන්නක් දරා සිටින විශාල පිළිමයකි. වේදිකාව මත ආභරණ වලින් සැරසුන තේජාන්විත වූ ලෝන්ග්මුගේ ප්‍රතිමාව මම දුටුවෙමි. තම දෙපා දෙස බලා සිටින අය දෙස නොබලා ඈ ඉදිරිය බලාගෙන සිටියා ය. ඇගේ ප්‍රකාශනය ශාන්ත විය. ශාලාවට ඇතුළු වූ අවස්ථාවේම මම ලෝන්ග්මුගේ පුරාවෘත්තයට සම්බන්ධ ගල් පුවරුව දෙස බැලුවෙමි. ‘ගුවැන්ඩොං පළාතේ ජීවත් වූ වෙන් ෂි තරුණියට නිවසට නුදුරින් පිහිටි ගඟ අසලදී විශාල බිත්තරයක් හමුවී තිබේ. නිවසට ගෙනා බිත්තරයෙන් සත්වයින් පස්දෙනකු බිහිවී ඇත. තම දරුවන් සේ සලකා ඇය උන් පෝෂණය කර තිබේ. පසු කලෙක එම සතුන් බලගතු මකරුන් බවට පරිවර්තනය වී ඇයට උදව් උපකාර කරමින් සිට ඇත. ඇය මියගිය පසු මාතෘ ප්‍රේමය, මිනිසුන් සහ මකරුන් අතර ඇති බලගතු බැඳීම නිරූපණය කිරීමට මකරුන්ගේ මව හෙවත් ලෝන්ග්මු සිද්ධස්ථාන කැප කර ඇත.’ යනුවෙන් එහි සඳහන් වුණි.

ප්‍රතිමාව ඉදිරිපිට ඇති කොට්ටය මත දණ ගසා සිටින විට, මම පසුගිය සති දෙකක කාලය ගැන නැවත සිතුවෙමි. අම්මා එක් අවස්ථාවක හෝ මට මාළු සමග බත් කෑමට දුන් බවක් මතක නැත.

මගේ අම්මා මාව බිහිකරන්න කලින් ලෝන්ග්මු වන්දනා කරන්න ආවාද නැද්ද කියා හෝ මා දන්නේ නැත. ඇය දුෂ්කර කාලයක් ගත කළ බව මම අන් අයගෙන් අසා ඇත්තෙමි. ඇය ගැබ් ගත් සමයේ වෙහෙසකර වැඩවල නිරතව තිබේ. සමහර අය ඇයට පැවසුවේ එයා පිරිමි ළමයකු විය යුතු බවයි. මා ගැහැනු ළමයෙක් බව දැනගත් විට මගේ පියා කලකිරීමට පත්ව තිබේ. මව හඬා වැටුණු බව මට ආරංචි විය. මගේ අම්මා දික්කසාද වූ පසුව ඇය මා ගැන අසන ඕනෑම කෙනකුට පවසා ඇත්තේ, තම දියණිය කුඩා පිරිමි ළමයකු මෙන් ඇති දැඩි කරන බවයි. තවත් අවස්ථාවක දී ඇය,

“මගේ කෙල්ල පිරිමි ළමයකුට වඩා හොඳයි.” යනුවෙන් පවසා තිබේ.

මම මගේ උපාධිය අවසන් කරන තුරුම, ඇය මා හොඳම පාසල් වෙත යැවීමට වග බලාගෙන තිබුණි. මම මගේ සැමියාට වඩා වැඩියෙන් මුදල් ඉපැයූ බව දැනගත් විට ඈ සතුටු වූවා ය. මා පිරිමියකු සේ වැඩ කරන බවත් ඇයව ආඩම්බරයට පත් කළ බවත් ඈ පැවසුවා ය.

ප්‍රධාන ශාලාවෙන් පිට වූ පසු, කඩදාසි මල් හා ලෝන්ග්මු ඉදිරිපිට තැබූ හඳුන්කූරු චතුරස්‍රයේ එක් බඳුනක තැබිය යුතුවිය. සෑම හඳුන්කූරකින්ම ඉහළට නගින්නේ කුඩා, රැලි ගැසුණු සුවඳ දුම් පමණි. මිනිසුන් ඒවා බඳුන් තුළ දල්වන අවස්ථාවේ වලාකුළක් මෙන් ඉහළට ඇදී යයි. අපට පෙර චතුරශ්‍රය ලෝන්ග්මු වෙත ගිය පවුල ද මම දුටුවෙමි. ඔවුන් තම හඳුන්කූරු බඳුන් තුළ දල්වා එක් එක් දිශාවට හිස නමා නමස්කාර කළේ ය. කාන්තාව තම දියණිය අල්ලාගෙන සිටියදී, තරුණයා තම පියාට හිස නැමීමට උදව් කළේ ය. දියණිය තම බඩ මත සමබරව තබාගත් කාන්තාව නැමීමට හැකි උපරිමය කළාය. ඇය ගැබිනි කතක් බව මා දුටුවේ ඒ අවස්ථාවේදී ය. මගේ අම්මා ද එක එක පැත්තට නමස්කාර කර සිටියා ය. මම නොසෙල්වී සිටි තැනම සිටියෙමි. ඒ අවස්ථාවේ මගේ නැන්දම්මා පැවසූ දෙයක් මට සිහිපත්විය.

“දරුවන් නැති ජීවිතයක් තේරුමක් නැති දෙයක්”

මගේ අම්මාට එය ඇසී තිබුණි. ඇයට එවැනි ප්‍රකාශයක් ඇසුණු පළමු අවස්ථාව එය නොවන බව මා සමග පවසා ඇත. විවාහයෙන් වසර අටකට පසුවත්, තැන් තැන්වලදී වැස්සක් මෙන්, වරින් වර ඒ හඬ ඇය වෙත පැමිණියේ ය. වැස්ස සෙමෙන් සෙමෙන් වැඩිවී මගේ ඇටකටු පවා තෙමෙන බවක් දැනුණි. උපක්‍රමශීලීව අපි තීරණයකට පැමිණියෙමු.

“ඔයා කැමති මං පුතෙක් වුණා නම් නේද?”

මගේ අම්මා තුෂ්නිම්භූත වූවා ය. ඈ බොහෝ වේලාවක් මා දෙස බලා සිටියා ය. උගුරේ මාලු කටුවක් හිර වූවාක් මෙන් ඇයට කතා කිරීමට නොහැකි විය. ඒ මොහොතේ හඳුන්කූරු බඳුනේ තිබුණු හඳුන්කූරු මිටියක් කුඩුවී අළුවී ගියේය. කඳුළු සලමින් මම ඉවතට ගියෙමි. ආපසු ගෙදර යන ගමනේදී මා අසලින් වාඩි වූ අම්මා මුළු ගමන පුරාම නිහඬව සිටියා ය. අප ඒ වන විටත් බොහෝ සිද්ධස්ථාන වෙත ගොස් ඇතත්, කිසිදු ප්‍රතිඵලයක් අත් නොවීය. මම බලාපොරොත්තු අත්හැර දමා සිටියෙමි. ලෝන්ග්මු වන්දනා කළ, පනස් ගණන්වල කාන්තාවක් ගැබ්ගත් බව මගේ මවට ආරංචි වී ඇත. මා එහි ඇදගෙන යෑමට එය නිමිත්තවී තිබුණි. වසර තුනක් පුරා ලෝන්ග්මු වන්දනා කිරීමෙන් ඕනෑම ප්‍රාර්ථනාවක් ඉටුවන බව ඇය දැනගෙන ඇත.

මම අම්මා ගෙදරට ඇරලුවෙමි. කුඩා නිවසේ ඇය තනිවම ජීවත් වූවා ය. මූණ කට හෝදගෙන ආපසු යන්න සැරසෙන අවස්ථාවේ ඈ මට කතා කළා ය.,

“මං කවදාවත් දුවෙක් ලැබීම ගැන පසුතැවුණේ නැහැ,” අම්මා පැවසුවා ය.

“මං හැමදාම පැතුවේ ඔයාට පිරිමි ළමයෙක් ලැබෙන්න කියලා.” ඇය මා වෙත පෙට්ටියක් දුන්නා ය.

මගේ දෑස රතු විය.

“මං හිතන්නේ කෙල්ලෙක් ඉන්නවා නම් ලොකු දෙයක්. පිරිමි ළමයෙක් ඉන්නවාට වඩා ඒක ගොඩක් හොඳයි.”

ඈ තවදුරටත් මෙසේ පවසා සිටියා ය.

“මට බය හිතුනා ඔයාට කෙල්ලෙක් ලැබුණොත් හැමෝම ඔයාට තවත් දරුවෙක් හදාගන්න කියයි කියලා. ඒකෙන් ඔයා තවත් දුක් විඳියි. ඔයාගේ දුවට පොඩි මල්ලි කෙනෙක් ලැබුණොත් ඊට පස්සේ එයත් දුක් විඳියි.”

ඇයගේ දෑස් වලින් කඳුළු කඩා වැටෙන්නට විය. පිට අත්ලෙන් කඳුළු පිසමින් ඇය නැවතත් කතාකරන්නට වූවා ය.

“මට වුවමනා කළේ ඔයාට ජීවිතය පහසු කරවන්න. මම ගතකළා වගේ කටුක ජීවිතයක් ඔයා ගත කරනවට මං කැමති නැහැ.”

ඇය මා අතට දුන් පෙට්ටිය විවරකර බැලූ අවස්ථාවේ, එය රතු කඩදාසි මල් වලින් පිරී ඇති බව මම දුටුවෙමි. එය ලෝන්ග්මු විසින් අනුමත නොකළ අභිනයකි. අම්මා සමගින් මම රෑ කෑම ගත්තෙමි. ඇයගේ කුඩා නිවස පිළිවෙළකට තිබුණි. වැඩි අවශ්‍යතාවක් නොතිබුණත්, එය පිරිසිදු කිරීමට මම උදව් කළෙමි. මා කුස්සියේ සිට අතුගාගෙන ආවේය. අම්මා නිදන කාමරයෙන් පටන් ගෙන තිබුණාය. අපි සාලයේදී මුණගැසී රැස්කළ දූවිලි එකට එකතු කළෙමු.

මම ගෙදර යන අතරතුර සුදු කඩදාසි මල සමග කුණු ටික පාර අසල කුණු බක්කිය තුළට දැමුවෙමි. සඳ එළියට පදික වේදිකාව හිම මෙන් සුදු පැහැයෙන් දිස්විය. ලෝන්ග්මු නමස්කාර කළ කාන්තාවට පුතෙක් ලැබේවායි කියා, මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කළෙමි.



Nissanka Rajapaksa

unread,
Jun 1, 2025, 7:41:18 PMJun 1
to INDRAKA group

34

පරණ තාරුකා

- ජගත් ප්‍රසන්න කුරුගම 

“ඔයා කියන්නෙ කවියක්....”

ගල් බංකුවේ ඉඳගත්තු අපි දිහා මිනිස්සු බලන් ගියේ අමුතු විදියකට. ඒ අමුතු විදිය ඒ අයට අමුතු වුණත් අපට අමුතු වුණේ නෑ. දන්නවද ඒක දැං අපිට පුරුදු වෙච්ච දෙයක් නිසා. මම දුම්වැටියක් දල්වා ගත්තේ කිසිම හැඟීමකින්වත්, වුවමනාවකටවත් නෙමෙයි කියල ඈ තේරුම් ගත්තා.

“ඉස්සරත් මේ වගේ කෙටි දවස් ගත වුණා ඇත්තමයි ....”

“ඔබත් නැති මමත් නැති

මේ පාළු මාවතේ තේරුමක් නැතිව 

අපි දෙඩූ කතාවන් අපරාදේ...”

“ඔව් .... අපරාදේ...”

ඈ තාරුකා.... නම වගේම ඈට තියෙන්නෙ තාරුකා වගේ දිලිසෙන ඇස් දෙකක්. අපි ඔහේ කතාවට වැටුණා. බස්නාහිර අහසෙන් ඉර බහිද්දි එන තැඹිලි පාට එළිය හරිම ලස්සනයි. ඒක ලූෂන් ලියපු දම්පාට ළා සඳ එළියට වැඩිය මට ලස්සනයි.

“ඔයා ලියන්නෙ උත්තම පුරුෂයෙන්...”

“ඔව් මම ලියන්නෙ උත්තම පුරුෂයෙන් තමයි.. මොකද මමත් උත්තම පුරුෂයෙක්නේ...”

ඇය සෙමෙන් මගේ අතට ගසයි.

“දන්නවද අපි කාටත් කොහේ හරි වැරදුණ තැනක් තියනවා... ඒක හරියට හදාගන්න බැරි කැඩුණ වළඳක් වගෙයි...”

“කැඩුණ වළඳක් වගෙයි..? ඒ වචනෙ සෞම්‍ය නෑ....”

“සෞම්‍ය නැති දේවල් වල රළු ගතියට අපි පුරුදු වෙන්න ඕනෑ. රළු භාවිතය ජීවිතේට හුරු වුණ තරමට රිදෙන්නෙ අඩුවෙන්..”

“කොහොමත් මම දැන් කැඩුණ වළඳක් තමයි.”

“පිස්සු...”

“නෑ. ඒක ඇත්ත.. ඔයා දැන් කොච්චර පාට ගාන්න හැදුවත් ඒක හදන්න බෑනේ...”

අපි කවුද කියල අපි දැන් හඳුන ගනිමින් ඉන්නව.... ජීවිතේ වැරදුණ තැන්, පැරදුණ තැන් හොයාගෙන අපි ගියා. අන්තිමට බලද්දි ආයිමත් දෙන්නම උන්නේ එකම තැනක. ඒත් අපි දෙන්නට තිබුණේ කතා දෙකක්.

“මට කියන්න කතාවක් තියනව.. ඒක ඔයා දැනගන්නම ඕන...”

“ඉතිං කියන්න...”

“මම දෙමළ වුණේ තාත්ත දෙමළ නිසා...”

“ඉතිං ඒක හරිනේ...”

“මොකක්ද හරි ! ඔයා බය වුණේ ඒකට...”

“මම බය වුණා...? නෑ.. ඒක වැරදියි..”

“මම ගියේ සිංහල ඉස්කෝලෙකට. සිංහල ඉස්කෝලේ ගියත් සමාජෙ දෙමළ නිසා කවුරුත් හිතුවෙ මම පිරිසිදු දෙමළ කියල...”

“පිරිසිදු දෙමළ... ඒක ලස්සන වචනයක්...!”

“ඔව් ඒක ලස්සන වචනයක්. හැබැයි මෙහෙට නෙමෙයි.. වෙන රටවල්වලට.. ඒ කාලේ යුද්දෙ තිබුණා. අපි වතු දෙමළ වුණත් රටේ අනිත් අය අපි දිහාත් බැලුවෙ සැකෙන්. අපි ඒ මිනිස්සු දිහා බැලුවෙ සැකෙන්...”

“ඉතිං...”

“ඉතිං මම හැදුණෙත් ඒ සැකේ එක්ක.. ඒකයි මේ සේරම..”

“මේ සේරම කිවුවෙ ....?”

“ඔව්. මම ඔයා දිහා බැලුවෙත් සැකෙන්.. ඔයත් මං දිහා බැලුවෙ සැකෙන්. දැන් බනින්න එපා...”

“නෑ බණින්නෙ නෑ..... ඒත් දුකයි..”

“මට දැං තේරෙනෙව ඇත්ත.”

“මොකක්ද ඒ... කියන්න මට..”

“ඔයාගෙ හිතේ මං ගැන හැඟීමක් තිබුණ. ඒත් මම දෙමළ නිසා ඔයා ඒ හැඟීම් හංගගත්ත.. ඔයා හරි... මගේ හිතෙත් ඔයා ගැන එහෙම හැඟීමක් තිබුණ.. ඒත් ඔයාගේ සංස්කෘතිය වෙනස් නිසා මටත් ඔයාව විස්වාස කරන්න අමාරු වුණා....”

ඈ කියන්නෙ ඇත්ත. ඒ කතාව ඇතුළෙ මට අමුතුවෙන් හදන්න ඕනෑ තැන් තිබුණේ නෑ. ඈත අහසෙ ඉර පායල. ඒ ඉර එළියට ඊට පහළින් තියන තරු ඇස්වලින් හැංඟිලා. ඒත් ඇත්තටම ඒ තරු ඉරට යටින් හැමදාමත් තිබුණා.

“වර්ගවාදේ දරුණුයි. කොච්චර අනිත් පැත්තෙ අයට හිත ගියත් පිට කෙනෙක් විශ්වාස කරන්න අමාරුයි.. ඒත් ආදරයක් නෑ කියල හොඳටම දැන දැනත් අන්තිමට බඳින්නෙ තමන්ගේ ජාතියෙ එකෙක්මයි...”

ඈ එහෙම කියද්දි මම ඇගේ අතින් අල්ල ගත්ත. ඒ අත සීතල ද, උණුසුම්ද කියල හරියම කියාගන්න බෑ. ඒ අත සීතල නම් මගේ අත රස්නෙ වෙන්න ඕනෑ, ඒ අත උණුසුම් නම් මගේ අත සීතල වෙන්න ඕනෑ.

“ඇයි මේ... එයා ඔයාට ආදරේ නැද්ද..?”

“දන්නෑ... තේරෙන්නෙ නෑ.... එයා හරියට හඳගමගේ ෆිල්ම් එකක චරිතයක් වගෙයි..”

“ඒ උපමාව දරුණු නැද්ද ...? ඇරත් දැන් ඔයා එයාට අයිති වෙලා ඉවරයිනේ..”

“කොහොමද දරුණු වෙන්නෙ... මං කිව්වෙ මට දැනෙන විදියට. අපි එක තැනක ගොඩක් කල් උන්න. ඒ හැම වෙලාවකම මම ඔයා දිහා බැලුවා, ඔයා මාව තේරුම් ගත්තේ නෑ...”

“ඒ, එතකොටත් ඔයාට කෙනෙක් උන්න නිසා..”

“ඔව් උන්න තමයි, ඒත් ඔයාට ඕන වුණා නම් ඒක වෙනස් කරන්න තිබුණ.”

“බාගෙට වැහිච්ච දොරකින් රිංගන්නේ කොහොමද?”

“කවුද කියන්නේ...? මම දොර බාගෙට ඇරලයි තිබුණේ...”

ඉර බැහැල තරු දිලෙන්න පටන් ගත්ත. අපි ඔහේ තරු රටා දිහා බලන් හිටියා... පොළොවෙ ඉඳල අපි මේ දකින්නෙ අතීතයට අයිති තරු .. ආලෝක වර්ෂ මිලියන ගාණක් පහු කරල අපේ ඇහැට පේන තැනට එනකොට සමහර විට ඒ තාරකා මිය ගිහිල්ලත් වෙන්න පුළුවන්. එච්චර දුර තියන තාරකා කොහොමද වර්තමානේ ඉඳන් බලන්නෙ.

“ඔයා ඉක්මන් වුණා...”

“නෑ... ඔයා පරක්කු වුණා...”



Nissanka Rajapaksa

unread,
Jun 2, 2025, 8:29:25 PMJun 2
to INDRAKA group
35
මාරුව

- ශක්තික සත්කුමාර

සපුමල්ට හදිස්සියේ ලැබුණු ස්ථාන මාරුව හදාගැනීමට ඔහු ගත් සියලු උත්සාහයන් අවසානයේ අසාර්ථක විය. කුලුඳුල් දරුවා ලැබීමට සූදානම් වෙමින් සිටි දිල්රුක්ෂි ද පාසලේ තම ගුරු මණ්ඩලයේ සහෝදර ගුරුවරුන්ගෙන් තම ස්වාමි පුරුෂයාගේ ස්ථාන මාරුව අවලංගු කරගැනීමට සහය ඉල්ලුවාය. ඔවුන් ද තමන් දන්නා හඳුනන අයට කියමින්, සපුමල්ගේ ස්ථාන මාරුව අවලංගු කරගැනීමට උත්සුක වුවද පලක් වූයේ නැත.

“ඒක දඬුවම් මාරුවක්. විෂයභාර ඇමැතිමයි වැඩේ කරලා තියෙන්නේ. මොන ආණ්ඩුව ආවත් ඇත්ත කතා කරන්න මිනිස්සුන්ට ඕකයි වෙන්නේ.”

“සපුමල්ව දාලා තියෙන්නේ රාජාංගණේ දිහා වී ගබඩාවකටලු.”

“දිල්රුක්ෂිට බබා හම්බෙන්න තව මාසයයි තියෙන්නේ.”

සපුමල් පවුලේ මිතුරු-මිතුරියන්ගේ කියුම් උඩු සුළඟේ පා වී ගියේය. අවසානයේ සපුමල් පරාජය භාර ගෙන රාජාංගණයට යෑමට සූදානම් විය. ඔහුට තම බිරිය පිළිබඳ මහා බියක් ඇති විය. දිල්රුක්ෂි මහගෙදර යනවාට වඩා තමන්ගේ නිවෙස ඇයට ආරක්ෂිත බව සපුමල් සිතුවේය. ඇයගේ මහගෙදර පිහිටියේ ප්‍රධාන නගරයේ සිට කිලෝමීටර් දහයකට වඩා ඈතිනි. එහෙත් තමන්ගේ නිවෙසේ සිට විනාඩි කීපයකින් කුරුණෑගල නගරයට ළඟා වීමේ හැකියාව පවතින බව සපුමල් විශ්වාස කළේය.

“පුතා බය නැතුව ඔය ගමන යන්න. සිකුරාදා හවසට එන්න පුළුවන් නේ. සඳුදා පාන්දර යන්න බැරියෑ. තාත්තයි, මායි ඉන්නවනේ දුව බලාගන්න.”

අම්මා කාමරයට එන විට සපුමල් ඇඳුම් බෑගය සකසමින් සිටියේය. දිල්රුක්ෂි ඇඳ මත වාඩි වී, ඇඳුම් නවමින් ඊට සහයෝගය දෙමින් සිටියාය. කොටු සරමක් සහ මේස් බැනියමක් ඇඳ සිටි තාත්තාද කාමරයට ඇතුළු වූයේ ඒ මොහොතේය.

“පුතා දැන් නවතින්න තැනක් එහෙම හොයාගත්තද?” තාත්තා කාමරයේ පසෙක තිබූ පුටුවකට බර දුන්නේය.

“ඔව් තාත්තේ… මාව දාලා තියෙන්නේ ඒ ගබඩාවක භාරකරු විදියට. අපේ ඉස්කෝලේ හිටපු යාළුවෙක් ඒ පැත්තේ ඉන්නවා. මිනිහා ඒ ළඟින්ම මට තැනක් හෙවුවා කීවා.”

* * * * *

සපුමල් රාජාංගණයට ළඟා වන විට සවස තුන පමණ වී තිබිණි. ඔහුව ගැනීමට මිගාර බස් නැවතුමට පැමිණ සිටියේය.

“ඉස්කෝලෙ කාලෙන් පස්සේ හම්බුණාමද මන්දා” මිගාර සපුමල් අත වූ රෙදි බෑගය ගනිමින් කීවේය.

“උඹ නම් හිටපු විදියමයි, වෙනස් වෙලා නෑ.” සපුමල් තම මිතුරාගේ පසුපසින් ඔහුගේ යතුරුපැදිය නවතා තිබූ ස්ථානයට ගමන් කරන්නට විය.

මිගාර මුලින්ම සපුමල්ව කැඳවාගෙන ගියේ ඔහුගේ නව සේවා ස්ථානය වන වී ගබඩාව වෙතය. කැඩී ගිය යකඩ ගේට්ටුවකින් වැසුණු, තැන තැන කැලෑ වැවී තිබූ ඉඩමක මැද පිහිටා තිබූ වී ගබඩාව හොල්මන් චිත්‍රපටයක පාළු නිවෙසක් බඳු විය. දියසෙවල බැඳී කළු ගැහුණු බිත්ති දෙස සපුමල් බැලුවේ හකුළාගත් මුහුණකිනි.

“මචං මේක පාලනය වෙන්නේ උඹලගේ ඩිපාට්මන්ට් එකේ රාජාංගණයේ තියෙන සබ් ඔෆිස් එකෙන්. ගබඩාවට මුරකාරයො දෙන්නෙකුයි, තව ලිපිකාරයෙකුයි, පියන් කෙනෙකුයි ඉන්නවා. උඹ තමා දැන් මේකෙ ලොක්කා… හක්.. හක්.. හක්…” මිගාරගේ සිනාව පාසල් අවදියේ තිබූ අයුරින්ම තවමත් තිබෙනවා යැයි සපුමල් සිතීය.

“උඹට නම් හිනා! කවදා වෙනකං මේකෙ තපින්න වෙයිද දන්නේ නෑ. එතකොට මං නවතින තැන කොහෙද?” සපුමල් පාළුවට ගොස් ඇති වී ගබඩාවේ වසා ඇති දොර අසලට ගමන් කරන්ට විය. දොරෙහි තැනින් තැන දිරා ගොස් තිබිණි.

“මේ ගබඩාවට ගෙවල් දෙකකින් එහා පැත්තේ තියෙන්නේ. පොඩි කුස්සියකුයි, කාමරේකුයි තියෙනවා,” ගබඩා ගොඩනැඟිල්ලේ දකුණු පැත්තට අතක් දික් කරමින් මිගාර කීවේය.

අලුත් නවාතැන දුටු සපුමල්ට තමා විශ්වවිද්‍යාල අවධියේ නැවතී සිටි බෝඩිම සිහි විය. කුඩා කුස්සියක් සහ ඊට යාබදව පිහිටා තිබූ කාමරයකින් සහ කුඩා ඉස්තෝප්පු කෑල්ලකින් එය සමන්විත වී තිබිණි. කාමරයේ ඇඳක්, කුඩා මේසයක්, ඉඳගන්න ප්ලාස්ටික් පුටු තුනක් සහ ලීයෙන් තැනූ ඇඳුම් වැටක් අපිළිවෙළට තබා තිබිණි.

“මේකෙ හිටියෙ අපේ ලොකු තාත්තා. එයා බැඳලා හිටියෙ නෑ. ටවුන් එකේ තේ කඩයක් කළා. හාට් ඇටෑක් එකක් ඇවිත් දැන් අවුරුද්දකට විතර කලින් නැති වුණා.”

* * * * *

සපුමල් දින කීපයකින්ම අලුත් නවාතැනටත්, රාජකාරියටත් හුරු විය. රාජකාරියක් කීවාට එතන කරන්න විශේෂ දෙයක් නොවීය. කළ යුත්තේ තිබෙන වී තොග දෙපාර්තමේන්තුවෙන් අවසර දෙන ප්‍රමාණයට අදාළ ලොරි වෙත නිදහස් කිරීමය. ලොරි පැමිණෙන්නේ සතියකට එක් වතාවක් හෝ දෙවතාවක් පමණි. මුරකරුවෝ දෙදෙනා උදේ සහ රාත්‍රිය වශයෙන් බෙදාගෙන තම රාජකාරි සිදු කළහ. ලිපිකරු තනතුර දරමින් සිටියේ මැදිවියත් ඉක්මවූ පුද්ගලයෙකි. සපුමල්ට ඒ පුද්ගලයා එතරම් හිතට ඇල්ලුවේ නැත. එහෙත් කාර්යාල කාර්ය සහයක තරුණයා සපුමල්ගේ සිත් ගත්තේය. ඒ තරුණයා අවිවාහකයෙක් විය.

වැඩ අවසන්ව නවාතැනට පැමිණෙන සපුමල් මුලින්ම පිටුපස ළිඳෙන් හොඳහැටි නාගනියි. පසුව තේ එකක් සාදාගෙන කුඩා ඉස්තෝප්පුවට එන ඔහු හාන්සි පුටුවට වී බොහෝ වේලාවක් කල් ගෙවන්නේ හිතට ඔහේ පා වී යන්නට ඉඩ දෙමිනි. තම බිරිය අසලින් මෙවන් මොහොතක තමන්ට සිටිය නොහැකි වීම ගැන සපුමල් සිටියේ පසුතැවිල්ලෙනි.

ප්‍රථම වරට බිලිඳකුගේ ඇඬීමේ හඬ සපුමල්ට ඇසුණේ අලුත් නවාතැනට පැමිණ හත්වැනි දවසේදීය. එය ඇසුණේ අසල නිවෙසකිනි. ඒ වන විට සපුමල් පසු වූයේ අඩ නින්දේය. මුලින්ම බිලිඳාගේ ඇඬීම, පසුව ඉකිබිඳුමක් දක්වා වර්ධනය විය. සපුමල් ඇඳෙන් නැගිට බෝඩිමේ ඉදිරි දොර විවෘත කරගෙන කළුවරේම එළියට ආවේ, ශබ්දය එන්නේ කුමන නිවෙසින්දැයි බැලීමටය. නවාතැනට වම්පසින් වූ කුඩා නිවෙසේ විදුලි බුබුළු දැල්වී පැවතිණි. ඒ වන විට ඉකිබිඳුම් හඬ වියැකී ගොස් තිබිණි.

ඇඳට ගොඩ වූ සපුමල් කොතෙක් නිඳාගැනීමට උත්සාහ කළද, ඉන් පසු නින්ද ඔහු අසලටවත් පැමිණියේ නැත. තම බිරියගේ රුව විවිධ ස්වරූපයෙන් සපුමල් ඉදිරියේ මැවී පෙනෙන්නට විය. ඔහු ඇඳෙන් නැඟිට විදුලි බුබුළ දල්වා, මේසය මත වූ වතුර බෝතලය එක හුස්මට බීගෙන යන්නට විය.

රාත්‍රියට දරුවා ඉකිබිඳින අසල නිවෙසේ තරුණ කාන්තාව උදේට මිදුල අතුගාන්නේ බොහෝ විට තමා රැකියාවට පිටත් වන අවස්ථාවලදී බව සපුමල් නිරීක්ෂණය කළේය. දින කිහිපයක්ම රාත්‍රියේ ඇසුණු දරුවාගේ ඉකිබිඳුම් හඬ නිසා ඒ වන විට සපුමල් සිටියේ දින තුනක්ම නිදි වර්ජිතවය. සපුමල්ට නින්ද යාගෙන එද්දිම කුඩා බිලිඳා අඬන ශබ්දය ඇසෙන්න පටන් ගනියි. පසුව එය ඉකිබිඳුමක් දක්වා රූපාන්තරණය වේ. ඒ හඬින් අවදි වන සපුමල්ට ඉන්පසු කොතෙක් උත්සාහ කළ ද නින්ද නොයයි.

* * * * *

“ඒ දරුවට කිරි නැති හින්ද වෙන්න අඬනවා ඇත්තේ. දුප්පත් මිනිස්සු වෙන්න ඇති. පුළුවන් නම් ඒ මිනිස්සුන්ට පිටි පැකට් එකකුයි තව සිල්ලර බඩු ටිකකුයි ගිහින් දෙන්න.” ජංගම දුරකතනය දිගේ ගලාගෙන ආවේ දිල්රුක්ෂිගේ ළයාන්විත හඬයි.

“බඩු ගිහින් දෙන්න නෙවේ. මං දැන් වෙලාවක ගිහින් දෙකක් කතා කරලා එනවා! මට දවස් ගානකින් නින්දක් නෑ…” සපුමල් කතා කළේ නොරිස්සුම් සහගතවය. ඔහු නවාතැනේ එහාටත් මෙහාටත් ඇවිදිමින් සිටියේය.

“ඔච්චර නපුරු වෙන්න එපා අනේ!” දිල්රුක්ෂිගේ මෘදු හඬ සපුමල්ව නිවන්න සමත් විය. ඔහු ඇඳ මත හිඳගත්තේය.

එදින ඉකිබිඳුම් හඬ ඇසෙන්න වූයේ පාන්දර ජාමේය. සපුමල් නැඟිට තම කොට්ටය යට වූ ජංගම දුරකතනය ගෙන එහි තිරය ආලෝකවත් කළේය. පාන්දර හතර පසු වී විනාඩි විස්සක් එහි සටහන්ව තිබිණි. ඔහු නැඟිට ඇඳ මත හිඳ ගත්තේය. විදුලි බුබුළු නොදල්වා එළියට පැමිණි සපුමල් විදුලි බුබුළු දල්වා තිබෙන කුඩා නිවෙස දෙස බලමින් සිතුවේ දිල්රුක්ෂි කී පරිදි අද සවස එහි යා යුතු බවයි.

* * * * *

“ආ… මේ අපේ සිරිපාල මාමා හිටපු තැනට ආපු මහත්තය නේ… මට ටිකක් අඳුනගන්න බැරි වුණා…” බඩු මලු දෙකක් රැගෙන මිදුලේ සිටි සපුමල් දෙස මඳ වේලාවක් බලා සිටි කුඩා නිවෙසේ තරුණයා ඔහුට නිවෙස තුළට ඒමට ආරාධනා කළේය.

සපුමල් නිවෙසට ඇතුළු වී, සාලයේ කුඩා ටීපෝව මත බඩු මලු දෙක තබා, නිවෙස සිසාරා බැල්මක් හෙළුවේය. දුර්වර්ණව ගිය බිත්ති කියාපෑවේ එය බොහෝ පැරණි නිවෙසක් බවයි.

“නිරෝෂා… මේ එහා ගෙදරට අලුතින් ආපු මහත්තයා ඇවිත්…” නිවෙසේ තරුණයා හඬ නැඟීය.

නිල් පැහැති ගවුමක් ඇඳ සිටි උදයේ මිදුල අතුගානවා තමා දකින තරුණිය සාලයට පැමිණියේ මුහුණපුරා මඳ සිනාවක් ඇඳගෙනය.

“දරුවා නිඳිද?” ගෙහිමි තරුණයා පැනවූ අසුනෙන් වාඩි වීමට සැරසෙමින් සපුමල් ඇසුවේය.

තරුණයාත්, තරුණියත් එකිනෙකාගේ මුහුණු දෙස බලා මඳ වේලාවක් සිටියේය.

“මොන දරුවද මහත්තයා?” තරුණයා විසල් කරගත් මුහුණින් සපුමල් දෙස බැලීය. සපුමල් තරුණ යුවළගේ මුහුණු දෙස මාරුවෙන් මාරුවට බලන්නට වූයේය.

“අපි ළඟදි බැන්දේ…” තරුණියගේ මුහුණ දෙස සපුමල් බොහෝ වේලාවක් බලා සිටියේ කළ යුත්තේ කුමක්දැයි සිතමිනි. ඔහු මහත් අපහසුතාවකට පත්ව සිටියේය.

https://www.silumina.lk/2025/05/31/news-features/42140/%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%94%e0%b7%80/?fbclid=IwY2xjawKqTkpleHRuA2FlbQIxMQABHssOhPnolrnPMTjyrw2-OQVe7NikXRWo-vZvpE662_B9O_SedFlR7SEqUo_6_aem_4Svmk76CaAVw_kNxZ4wVrg

Nissanka Rajapaksa

unread,
Jun 3, 2025, 9:41:26 PMJun 3
to INDRAKA group
36

දුම්රියේ සුන්දරිය

Rochelle Potkar විසින් 2013 අගොස්තු මස Bangalore Review හි පළකරන ලද The Kohl-Eyed Muse කෙටිකතාවේ පරිවර්තනය


පරිවර්තනය
එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ

මත්තේගොඩ


වාතය ආශ්වාස කරමින්, දෑසට පෙනෙන මානයේ මෘදු හිරුඑළිය පතිතවන නිසරු භූමිය දෙස තම දෑස් යොමු කරගෙන සුඛන්‍යා කවුළුව අසලම වාඩි වී සිටියා ය. කාන්පූර් – කස්ගන්ජ් එක්ස්ප්‍රස් දුම්රියේ ලෝහ මැදිරියේ මානයන් සොයා ගැනීමට අසීරු විය. මිනිස්සු තව තවත් තම බඩු බාහිරාදිය එයට පැටවූහ. සතුන්, උපකරණ, ගමන් මලු, ලෝහ හා මැටි භාණ්ඩ ඒ අතර විය.

දුම්රිය ගමන ආරම්භ කළ අවස්ථාවේ සිටම ඈ තම සිතුවිලි එළිපත්තට මුදා හැරියාය. ඇයගේ දෑසින් ගිලිහෙමින් රූටන කඳුළු බිඳු වෙතින් තම දෙකොපුල් තෙත්වන බවක් ඇයට ඒ අවස්ථාවේ දැනුණි. වියපත් මිනිසෙක් ඔහුගේ කකුල් ඇයගේ පිටුපස තදින් ස්පර්ශ කිරීමත් සමගම ඇයගේ හදවත හිරිවැටී ගියේය. තමා දෙස ඔහුගෙන් වැටෙන බැල්ම වටහාගත් ඈ තම දෙවුර ආවරණය වන සේ සාරිය සකස් කර ගැනීමට යුහුසුළු වූවාය.

“ඇයි ප්‍රශ්නයක්ද?” පාට පිළිස්සුණු නිල් කලිසමට ගලපාගත් සාක්කු දෙකේ කමිසයක් ඇඳගත් ඔහු දුම්රියෙන් නැගෙන කිහිරි හඬ පරදවා අසා සිටියේය.

පිටත දර්ශන වේගයෙන් බොඳ වීමට පටන් ගත් අතර වාතයේ සිසිලස මැදිරිය තුළට ගලා ආවේය. වාඩි වී සිටින, සිටගෙන සිටින, නිදා සිටින, මිනිසුන් අතර ගොරවන පුද්ගලයින් සාමූහිකව ‘ආ…’ හඬක් නිකුත් කළහ. එක් කකුලකින් අනෙක් කකුලට බර මාරු කරමින් සුඛන්‍යා මුලින්ම නිහඬව සිටීමට තීරණය කළා ය. නමුත් මෙම දිගු ගමන සහ එහි ප්‍රතිඵලය යහපත් වීමට නම්, ඇයට යම් උත්සාහයක් දැරීමට සිදුවනු ඇතැයි ඈ සිතුවාය. ඒ හේතුවෙන්ම ඈ මෙසේ පැවසුවාය.

“මට ගෙදර ගැන කල්පනා වුණා.”

“ඔයා කොහේටද යන්නේ?” ඔහු විමසා සිටියේය.

“ඔයා කොහෙද යන්නේ?” ඈ පෙරළා ඔහුගෙන් විමසා සිටියා ය.

“ජාන්සි” ඔහු සන්සුන්ව පවසා සිටියේය. ඈ සමඟ සංවාදය තවදුරටත් ගෙන යනවාද නැද්ද යන්න තීරණය කරන්නාක් මෙන් ඔහු මැදිරියේ පැද්දීමට එරෙහිව හිසට ඉහළින් පිහිටි හරස් දණ්ඩ එක් අතකින් දැඩිව ග්‍රහනය කරගත්තේය.

එක්වරම මැදිරිය තුළ වේවැල් කූඩයක සිටි කුරුල්ලෝ සටන් කිරීමට පටන් ගත්හ. දහඩිය දමන මිනිස් සුවඳ පවා අභිබවා කූඩයේ ඇස් අතරින් උන්ගෙන් ගැළවුණ පිහාටු සහ වසුරු ඉගිලී මැදිරිය තුළ පැතිර ගියේය.

අසල වූ වියපත් මිනිසා පියවරක් පසුපසට ගොස් ඔවුන් අතරට වාතය ගමන් කිරීමට ඉඩ සළසා සුඛන්‍යාට පිටුපසින් ඉහළින්, ඔහුගේ දෙපා මෑත් කළේ ය. එහෙත් තද සිසිලස රැඳි අතක ස්පර්ශය දැනෙන්නට විය. එය අමුතු සහතිකයක් පෙන්නුම් කළේය.

“ඔයාට කරදර කරන්නේ මොකාද?” ඔහු නැවතත් ඇයගෙන් ඇසුවේය.

මේ වන විට ඇයගේ මුහුණේ තිබූ තෙත් බව වියළී ගොස් තිබුණි.

“මගේ නොසන්ඩාල මිනිහා, බීමතින් හිටිය හැම දවසකම මට පහර දුන්නා…”

“කියන්න…මට.”

“අවුරුදු දහසයක් තිස්සේ… කෝටුවලින්, මෝල් ගහෙන්, කොස්සෙන්, පිහියෙන්, දෑකැත්තෙන්, එයාගෙ අතට අහුවෙන ඕනෑම දෙයකින් ගැහුවා. ඒ දේවල් නැත්නම් එයාගේ අත් දෙකෙන් පහර දුන්නා. මගේ බෙල්ල තදකරලා සැරයක් මාව පුච්චන්නත් උත්සාහ කළා… මම යන්තම් බේරුණා. ඒත් ඊට පස්සේ ඒකා මගේ දුවට ගහන්න පටන් ගත්තා. මට ඒක දරාගන්න බැරි වුණා.”

එකට බැඳී ඇති මිනිස් සිරුරු සමූහය මැදින් ගමන් කළ මිනිසෙකුට සිටගෙන සිටි තවත් මගියෙකුගේ කකුලක් පෑගී ඇත. ඒ ගැන උරණ වූ ඔහු පරුෂ වචනයෙන් බැණ වදින්නට විය. වියපත් මිනිසා නැවතත් තම දණහිස් තව තවත් ඈ දෙසට තද කළේය. සුඛන්‍යා ඇයගේ සිරුර තදකර ගනිමින් දුම්රිය දොරටුවේ ඇති කලබලය දෙස බලාසිටි ඇයගේ බැල්ම ඉවතට ගනිමින්;

“මට උදව් කරන්න පුළුවන්ද සහීබ්? කොහොම හරි, මට රස්සාවක් සොයා දෙන්න. මට කොහේ හරි තැනක්. මට උයන්න, පිරිසිදු කරන්න, ගෙදර වැඩ කරන්න, සාප්පුවක බඩු අදින දෙයක් වුණත් කරන්න පුළුවන්.”

“එතකොට ඔයාගේ දුව දැන් කොහෙද?” ඔහු විමසුවේය.

“එයා අල්ලපු ගමේ කොල්ලෙකුට ආදරේ කළා. මගේ මිනිහා ඒක පිළිකුල් කළා. ඒ නිසා තමයි මම ඒගොල්ලන්ට අද උදේම පැනලා යන්න උදව් කළේ.”

“එහෙනම්?”

“එයාගේ බේබදු යාළුවෙක් දුවගේ බඩු පොදිය හදන හැටි දැක්කා. අපි ලොකු කරදරයක වැටෙනවා කියලා මම දැනගෙන හිටියා. මගේ මිනිහට තාමත් ගමේ බලය තියෙනවා. එයා මාව අල්ලගෙන ගිහින් මරලා දායි. ඒකට එයාට දඬුවම් ලැබෙන්නෙ නැහැ.” ඇයගේ දෙකොපුල මතින් උණු කඳුළු රූටා වැටුණි. වියපත් මිනිසා එදෙස බලා සිටියේය.

“ජීවත්ව ඉන්නේ මගෙ එක දරුවෙක් විතරයි. තුන්දෙනෙක් ඉපදෙනකොටම මැරිලා, දෙන්නෙක් ගබ්සා වුණා… මගේ දුව ඇරෙන්න වෙන කවුරුත්ම නැහැ… එයත් නැති වුණාම මට කිසිකෙනෙක් නැහැ” ඈ තම පපුවට දෑතින් තට්ටු කරගත්තාය.

“ඒ මනුස්සයා දැන් ඔයාව හොයනවා ඇති නේද… ඔයා පස්සෙන් හොයාගෙන එනවා ඇති නේද?”

“මම කවදාවත් පැනලා ගිහින් නෑ… එයා බීලා මැරෙන්නත් පුළුවන්, කිසිම දෙයක් නොකර ඉන්නත් පුළුවන්, නැත්නම් තරහ පිට කරන්න ඕන නම් එයා එන්නත් පුළුවන්. ඒ හැමදේම රඳා පවතින්නේ එයාගේ ඔළුවට මුලින්ම එන දේ එක්ක.” ඈ පවසා සිටියාය. ඇයගේ නළලට තදින් පහර දෙමින් නැවතත්;

“අරක්කු නැතිදාට කේන්තියට…, ඒත් එයාට මගේ දුවට හානියක් කරන්න බැහැ. දුව, එයාගේ මනුස්සයත් එක්ක මේ වෙනකොට දුර බැහැර නගරෙකට ගිහින් ඇති”

“ඇයි? ඔයා එයාලා එක්ක ගියේ නැත්තේ.”

“හිතන්න තරම් වෙලාවක් තිබුණේ නෑ සහීබ්. මගේ දුව එළිය වැටෙන්න කලින් අඳුරේම ඒ පැත්තට ගියා. මම මේ පැත්තට ආවා.” ඈ අතක් දිගු කළාය.

“මේ කෝච්චියෙ ආවම මම කොහේ යන්නද, මොනවා කරන්නද කියලාවත් මට කල්පනාවක් තිබුණේ නෑ… කරුණාකරලා මට උදව් කරන්න පුළුවන්ද සහීබ්?”

තමා අසල වාඩි වී කවුළුවෙන් පිටත බලා සිටින සිටින කාන්තාවගේ උරහිසට උඩින් වියපත් මිනිසා බෙල්ල පහත් කර දෑස යොමුකළේ තමාට පුවත්පතක රැකියාවක් ලැබීමට නියමිත ජාන්සි නගරය ගැන සිතමිනි.

පරිසරය සවස්යාමය පසුකර අඳුරට ඇදෙමින් තිබුණි. කුරුලු රංචුවක් අඳුරු අහසේ කැදළි බලා පියාසර කරමින් සිටියේය. ඇයගේ ගමන දිගටම පවතිනු ඇතැයි ඔහු සිතුවේය.

“ඊළඟට මගේ නැවතුම” ඔහු තමාටම මුමුණා ගත්තේය. ඒ හැසිරීම ඇයට වැටහුණි. සුඛන්‍යා පසුබට නොවූවාය.

“මට ඔයා එක්ක යන්න පුළුවන්ද? මට රැකියාවක් සොයා දෙන්න, ඕනෑම දෙයක්… මට ආපහු යන්න බැහැ.”

අතරින් පතර ජනාකීර්ණ නගර මැදින් ඇදුණු දුම්රිය කිහිප සැරයක් ගැස්සෙමින් රේල් පීලි මත කෑගසමින් ඉදිරියට ඇදී ගොස් නතර විණි. මිනිස්සු රංචු වශයෙන් වියපත් මිනිසා පසෙකට තෙරපමින් ගමන්ගත් අතර, ඇතැමෙක් බැසීමට සූදානම් වූහ. කොහේ හරි අත් පා ගැටුණු දරුවෙකු හඬමින් කෑගැසුවේය.

“අපි මුණගැසී නොතිබුණා නම් මොකද කරන්නේ?” වියපත් මිනිසා කලබලයෙන් පවසා සිටියේය.

“මට තවත් දුර යන්න බැරි බව දැනුණොත් හරි, බඩගින්න මගේ සිහිය අවුල් කළොත් මම ළඟම තැනින් බහිනවා.”

“එතකොට ඔයා මොකද කරන්නේ?”

“රැකියාවක් හොය, හොයා ඇවිදිනවා.”

“එහෙනම් ඔයාට ඒක කරන්න වෙයි.”

තල්ලු කරන පිරිසගේ බලයට එරෙහි වීමට සිය පාද තදකර ඔහු තම රෙදි බෑගයේ කෙළවර සොයා ගත්තේ ය. වකුටු කරගත් ඇඟිලිවලින් ඔහු යමක් එළියට ගත්තේය. ඔහුගේ ග්‍රහනය ලිහිල් කළ විට අඹ ගෙඩියක් දැකගත හැකි විය. එය අඩක් කළු පැහැයට හැරි තිබුණි. විනිවිද පෙනෙන තුනී කදුළු පටලය ඔස්සේ ඇයගේ දෑසේ කළු ලප දැකගත හැකි විය. එය ගන්නා ලෙස ඔහු ඇයව උනන්දු කළේය.

දුක්ඛිතභාවය, දුෂ්කරතා, තනිකම, ධෛර්යය හා කාමුකත්වය පිළිබඳව ඈ පරිපූර්ණ චිත්‍රයක් වූවාය. දිගු කතාවක ආරම්භය තම මනස තුළ ඔහුට තැන්පත් කරගත හැකි විය. දුම්රිය තුළදී සමීපවූ ඈ ඔහු වෙත ගෙන ආවේ නවමු සිතුවිල්ලකි. කුඩා පුවත්පතක තීරු ලිපි රචකයෙකු ලෙස, ආටෝප සාටෝප වචන හසුරුවා කතා ලියමින්, තම ජීවිත කාලය පුරාම, තම පුටුව මත වියපත් වූ මිනිසා ඇයගේ රුව කෙරෙහි රහසින් ඇදී ගියේය.

දැන්, නැවතත් තමා ඇතුළතින් යමක් පුපුරා එන බවක් ඔහුට දැනුණි. එය කපටි ලෙස ආදරය සාක්ෂාත් කරගැනීමක් මෙනි. වියළි කර්කශ පස මතුපිට වට පළමු වැසි හමුවේ පිපි මලක් මෙනි. නොනවතින හඬකින්, කරදරකාරී මැදිවියේ කාන්තාවකගේ පලා යෑමක් ගැන පැවසීමට හැකි රසය ඉස්මතුව ආවේය. එය කෙතරම් සංවේදී කතාවක් විය හැකිද, එය කෙතරම් දුක්ඛිත කතාවක්ද යන්න ඔහුට එකවරම නිගමනය කරගත නොහැකි වුණි.

ඒ සමගම කඩාවැදුණු සැහැසි මගීන් පිරිස ඔහුව මැදිරියෙන් එළියට තල්ලු කළේය. ඔහු රළු සිමෙන්ති ඇතිරූ සීතල වේදිකාව මත ඇවිද ගියේ කෝපයෙන් බැණ වදිමිනි. කඩිමුඩියේ ගමන් කරන්නකුගේ නිශ්ශබ්දතාව, තේ සහ කෙටි කෑම වෙළෙන්ඳන්ගේ ඝෝෂාව, ආදරය බලා සිටි ගැහැනියකගේ හඬ පිළිබඳ සිතුවිලි සමගින් ඔහු තබන පියවර සඳ එළියෙන් නෑවී තිබුණි.

කඳුළු පිරුණු දෙනෙත් දුම්රිය කවුළුවෙන් පිටතට යොමුකර ඔහු ඇවිදයන ආකාරය දෙස සුඛන්‍යා බලා සිටියාය. ඔහු එක් වරක් හෝ ආපසු හැරී බැලුවේ නැත. මඳකට හෝ වේදිකාවේ නතරව සිටියේද නැත. ඈ තම අත රැඳි අඹ ගෙඩිය මත දත් පෙළ තබා හපාගෙන සිටියාය. අඹයේ පොත්ත ඇයගේ කෝපය මෙන් තිත්ත විය. ඈ කෙළ ගැසුවේ ඔහු ගමන්ගත් දිශාවටයි. අත රැඳි අඹයේ යුෂ ඇඟිළි අතරින් රිංගා දුම්රිය කවුළුවේ රාමුව මත හරහට ඇදී ගලා ගියේය.

වාතයට මුසුකළ සුසුමින් ජීවිතයේ හිස්බව පිළිබඳ සහනයක් ලබා ගන්නට ඈ වෙර දැරුවා ය. ඇයට අහිමි වීමට කිසිවක් නොතිබුණි. නමුත් වියපත් මිනිසා ඇයගෙන් යමක් උදුරා ගැනීමට සමත් විය. ඇයට එය නොදැනුණි. ඔහුට තමා කුමක් පැවසුවා දැයි ඈ කල්පනා කළා ය. දුම්රිය ඈ සමගින් ඇදී ගියේය.


https://www.divaina.lk/features/5101


Nissanka Rajapaksa

unread,
Jun 4, 2025, 7:19:30 PMJun 4
to INDRAKA group
37
අම්මා ගේ මරණය ....

- මංජුල සේනාරත්න 

මාස දෙකකට පෙර දිනක මගේ නමට ලංකාවේ සිට පැමිණි ලියුමකි . එහි ලියුමක් තිබුණේ නැත . තුනට නැවූ සුදු කඩදාසියක් මැද තිබුණේ වසර දොළහකට පෙර මගේ සාක්කුවේ තිබුණු මහජන පුස්තකාල සාමාජික පතයි . 

දොළොස් වසකට පමණ පසු මේ කාඩ් පත මා වෙත තැපල් කර එව්වේ කව්ද ..? ලියුම් කවරයේ මුද්දරය මත, එය තැපැල් කළ තැපැල් කන්තෝරුව අයිති ප්‍රදේශය සටහන් වී තිබුණි . ප්‍රදේශයේ නම දැකීමෙන් මගේ සිත දෙදරා ගිය බව මතකය . දින ගණනාවක් යනතුරු මේ පැරණි සාමාජික පත ගැන සිතමින් සිටියෙමි . නින්දක් නොවිණ . එහෙත් සති ගණනක ඇවෑමෙන් සියල්ල අමතක විය . සත්‍ය වශයෙන්ම අමතක කර දමන්නට උත්සාහ කළෙමි .

"අයියේ අම්මා ආන්තරා වුණා ..." අද අළුයම කාලයේ මොහොතක, නැගණිය කීවාය . එයින් පැය අටකට පසු මම මෙසේ මව්බිම බලා ගමන් කරමින් සිටිමි . 

මිය යන විට අම්මා ගේ වයස අවුරුදු 65 කි . එය මියයන වයසක් නොවේ . එහෙත් දස වසරක පමණ කාලයේ සිට , ඇගේ සෞඛ්‍ය තත්වය යහපත් නොවිණ .
"ඔයා ගිහින් දවස් දෙකකට පස්සේ තමයි ඩොටී නැන්දා ආන්තරා වුණේ . ඩොටී නැන්දා මැරුණු දවසේ ඉඳලා අම්මා වෙනස් වුණා . . .." අම්මාගේ අසනීප තත්වය බරපතළ වූයේ මගේ ප්‍රංශ ගමන නිසාය යන චෝදනාව නංගි මට එල්ල කළාය . එහෙත් මම එය ගණනකට නොගත්තෙමි . 

ඩොටී නැන්දා අපේ නැන්දා නොවේ . ඇය අම්මාගේ පාසල් කාලයේ සමීපතම යෙහෙළියයි . කිසි දිනක විවාහ නොවූ ඇය දෙමාපියන් ඉතිරි කර ගිය මුදල ආයෝජනය කරන්නට තීරණය කරද්දී ඇගේ වයස අවුරුදු 50 පැන තිබුණි . ඒ ආයෝජනය වනාහී මුදල් පොළියට දීමයි . ඇය පොලී ඩොටී වූයේ ඒ අයුරිනි . ලක්ෂ ගණනක් මුදල් ඇය හම්බ කරන්නට ඇත . එහෙත් ඇය ජීවත් වූයේ දෙල්කඳ හන්දියෙන් හැරී ගොස් පුංචි කොච්චි රේල් පාර පැනගත් විට හමුවන නිවෙස් අතරින් එක් කුඩා නිවසකයි . ලක්ෂපතිනියක් වුවද ඇය ජීවත් වූයේ හිඟන ජීවිතයකි . 

තාත්තා මියගිය පසු , රෙදි කඩයක රස්සාවකට ගිය අපේ අම්මාට මුල් කාලයේ ඩොටී නැන්දා මුදලින් උපකාර කළේලු . එහෙත් ඇය තම ව්‍යාපාරයේ ප්‍රතිපත්ති හොඳම මිතුරියට වුව වෙනස් කළේ නැත . 
"නාලනී .. අර මම දුන්න සල්ලි වලට පොලිය දෙන්න පටන් ගත්තා නම් හොඳයි නේද ...? " ඩොටී නැන්දා දිනක් අපේ අම්මාට කියා තිබේ . 
"උඹ ඒ සල්ලි මට පොලියටද දුන්නේ ඩොටි යෝ ..? "
"ඔව් . උඹ හිතුවේ මට කහනවට ඒවා නිකං දුන්නා කියලද ..? දැන් අවුරුදු දෙකක් වෙනවා . පොළියත් එකතු වෙලා .. අඩුම ගානේ පොළියවත් ගෙවන්න ගනිං .." තම සමීප මිතුරිය "තියන දවසක දීපං " යැයි කියා, විටින් විට දුන් මුදල පොළියට දුන් මුදලක් යැයි අම්මා සිතුවේ නැත . අවසානයේ දී රුපියල් එක් ලක්ෂ විසි දෙදාහක ණය කාරයෙක් බවට අපේ අම්මා පත්ව තිබුණි . එපමණක් නොවේ දිනෙන් දිනම එයට පොළී එකතු වෙමින් තිබුණි . උසස් පෙළ සමත්ව අලුතින් පටන් ගත් කොම්පැනියක කුඩා රැකියාවක් කරමින් හුන් මට අම්මාගේ පොලී ණය ගෙවා දැමීමට උපකාර කිරීමේ හැකියාවක් තිබුණේ නැත . මේ 2008 අවුරුද්දයි . සාමාන්‍ය පෙළට සූදානම් වෙමින් සිටි නැගණියගේ වුවමනා එපා කම් ඉටු කළ පසු මගේ වියදමට ඉතිරි වූයේ පුංචි මුදලකි . යුරෝපයේ රටකට පිටව යාම මගේ එකම සිහිනය විය .
 . එහෙත් ඒ සදහා ඒජන්තයෝ ඉල්ලා සිටින ලක්ෂ දහයක මුදල සොයා ගැනීමට හැකියාවක් ද මට නොවිණ . එය මහා කාලකන්ණි කාලයකි .  

ඩොටී නැන්දා නිතර අම්මා හමු වන්නට පැමිණියාය . නිදන කාමරය තුළ නිතර සිදුවන ඔවුන් දෙදෙනාගේ කතාව අවසානයේදී , නැන්දා පිටව පසු , අම්මා තවත් පැයක පමණ කාලයක් පිටත නොපැමිණ , ඉකිගසමින් කල් ගත කළාය . ඒ වන විට ලක්ෂ දෙකකට ආසන්න වී ඇති ණය මුදල, පොලී වාරික සියල්ල හැකි ඉක්මනින් ගෙවා ගන්නට නොහැකි වන්නේ නම් ඩොටී නැන්දා අපේ පවුලට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන බව මම දැන සිටියෙමි . මැරයන් දෙදෙනකුගේ සහය ලැබූ ඇය මුදල් ආපසු නොගෙවන අයට තර්ජනය කර මුදල් ලබා ගන්නා බව අපි අසා තිබුනෙමු .
"මම යනවා ඩොටී නැන්දා හම්බ වෙන්න . ගිහින් කියනවා සහනයක් කරන්න කියලා .." දිනක් සැන්දෑවේ මම නැගණියට කීමි .
"ඔයා හිතනවද ඔය ගෑනි අපිට සහනයක් කරයි කියලා . වැඩක් නැහැ අයියේ .."
"හෙට හවස වැඩ ඉවර වෙලා එන ගමන් යනවා . අඩුම ගානේ අවුරුද්දක් දෙන්න කියනවා . මම ප්‍රංශයට ගිහින් එවන්නම් කියනවා .." මගේ යෝජනාවට නැගණියගේ කැමැත්තක් තිබුණේ නැත . එහෙත් පහුවැනිදා හවස් යාමයේ ඩොටී නැන්දා හමුවන්නට ගියෙමි . සත්‍ය වශයෙන්ම මගේ යෝජනාවට ඇය කැමති වූයේ නැත . එපමණක් නොවේ . මෙතෙක් කාලයක් අම්මාට කරමින් සිටි තර්ජනය මා වෙත ද යොමු කළාය . 
"ළමයෝ ..අම්මා මගේ යාළුවෙක් තමයි . ඒත් මම වෙස්සන්තර නෙමෙයි . මගේ සල්ලි ටික මට ඕනා . මොකද අවුරුද්දක සහන කාලයක් දෙන්න මම ලෝක බැංකුවද ..?" 

දරා ගත නොහැකි කෝපය සිතේ පුරවාගෙන ඒ මූසල නිවසින් පිටත පැමිණියා පමණි , අඩි පාරේ ඈතින් මතුවන පුරුදු රුවක් මගේ නෙත ගැටුණි . අම්මා මා සිටින දෙසට ඇවිද එයි . ඇය පැමිණෙන්නේ ඩොටී නැන්දාව හමුවන්නට බව පැහැදිළිය . ඇයට නොපෙනෙන්නට මාර්ගය පැන ගත් මම නවතා තිබුණු වාහයකට මුවා වීමි . අම්මා නොපෙනී ගිය විහසම මා කළේ හැකි ඉක්මනින් ඒ ස්ථානයෙන් පැන යාමයි .
"ඔයාට කොහොමද මේ තරම් ඉක්මනට යන්න සෙට් වුණේ .." මේ සිද්ධියෙන් දින දෙකකට පසු නැගණිය ඇසුවාය. 
"ඉක්මනට නෙමෙයි . දැන් අවුරුදු දෙකක ඉඳන් නේ මම ට්‍රයි කෙරුවේ .."
"කොහෙන්ද ලක්ෂ දහයක් හොයා ගත්තේ ..?"
"නාලක ගෙන් මම ණයට ඉල්ලා ගත්තා ..
"අයියේ ඔය ලක්ෂ දහයෙන් අපි අම්මාගේ ණය බේරමුද ..?"
"බැහැ . මේ වෙලාවේ මට යන්න බැරි වුණොත් ආයේ යන්න වෙන්නේ නැහැ . මට ගිය ගමන් රස්සාවක් ෂුවර් . අම්මගේ ණය ටික මම බේරන්නම් . බය වෙන්න එපා ." 

අපහසු කාලයක , නිවෙස අතහැර දමා විදේශ ගත වීමේ වරදකාරී හැගීම නිසා , පසුදා උදෑසනම මම නිවසින් පිටවීමි . අම්මාගේ මුහුණ බැලීමේ හැකියාවක් මට නොවිණ .

මගේ ප්‍රංශ ගමන සිදු වූයේ ඒ අයුරිනි . ඒ වන විටත් පැරිසියේ යහමින් පැළපදියම් වී සිටි පාසල් මිතුරෙකුගේ නිවසේ ලැගුම් ගනිමින් , කාලයාගේ ඇවෑමෙන් රැකියාවක් සොයා ගැනීමට මට හැකිවිය . පස් වසරක කාලයක් ස්ථිර පදිංචි බලපත්‍රයක් වෙනුවෙන් සටන් වදිද්දී , අපේ පවුල වැටී සිටි ආර්ථික කඩා වැටීමෙන් ගොඩගත් මම දරුවෙකුගෙන් , සොයුරෙකුගෙන් ඉටු විය යුතු සියලු යුතුකම් ඉටු කළෙමි . එහෙත් ඩොටී නැන්දාගේ පොලී සල්ලි ගෙවන්නට හැකියාවක් ලැබුණේ නැත . මන්ද මා මව්බිමෙන් පිටවී දින කීපයකින් ඇය හර්දයාබාධයකින් මිය ගිය නිසාය . 
"ඔයා යන්න දවස් දෙක තුනකට කළින් අම්මා ඩොටී නැන්දව බලලා ආවා . ඔයා ආව බවක් එයා අම්මට කියලා තිබුණේ නැහැ . හොඳට හිටියා . එයාගේ ඔය ඉන්න චන්ඩියෙක් තමයි දැකලා තියෙන්නේ ගෙදර වැටිලා ඉන්නව . එතකොටත් මැරිලා දවස් දෙක තුනක් ගිහින්ලු ..."
"අම්මට කොහොමද..?"
"අනේ මන්දා අයියේ . ඩොටී නැන්දා මැරුණු දවසේ ඉඳන් ඔහේ බලාගෙන ඉන්නවා . වැඩිය කතා කරන්නේ නැහැ . හිතුවා ණය කරදරෙන් බේරුණා නේද කියලා හිත හදාගනියි කියලා . එහෙම එකක් පේන්න නැහැ . එයා ලොකු හිතේ අමාරුවකින් ඉන්නේ ඩොටී නැන්දා මැරෙන්න කළින් ණය ටික බේරගන්න බැරි වෙච්ච එකට . " 

ඒ අපේ අම්මාගේ හැටිය . අතේ සතේ නැති වුණත් ආත්ම අභිමානය ඇයට වටී . මා මව්බිමෙන් පිටව ගතව යන දෙවන දිනයේදී සිදුවුණු ඩොටී නැන්දාගේ මරණයෙන් පසුව ඇය වෙනස් ගැහැනියක් බවට පත් වූවාය . මා සමග කතාබහ කිරීමට කිසිදු අවස්ථාවක දුරකතනයට නොපැමිණි ඇය , නැගණියගෙන් මගේ විස්තර අසා ගත්තේලු . අධික රුධිර පීඩනය , අධික කොලෙස්ටරෝල් ප්‍රතිශතය , දියවැඩියාව යන මේ සියල්ල වැඩි අගයකින් සිරුර වෙලා ගත් විට අම්මා ගේ තත්වය සංකීර්ණ විය . හදිසියේ ඇතිවුණු හර්දයාබාධයකින් ජීවිතය බේරා ගත් නමුදු , මුහුණේ එක් කොටසක පාලනය ඇගෙන් පලා ගියේය . ඇයට වදන් පිට කර ගැනීමේ හැකියාව අහිමි වූයේ ඒ අයුරිනි 
 
වසර දොළහක කාලයක් අම්මාත් මමත් අතර දෙබසක් ඇති නොවිණ .

අවමංගල්‍යයේ කටයුතු හොඳින් සිදුවෙමින් තිබේ . වසර 12 කට ආසන්න කාලයක් රටින් පිටවී සිටි මට බොහොමයක් දේ නුහුරුය . දන්නා හඳුනන අය සිටියේ කීප දෙනෙකි . මා සමග කතා බස් කිරීමට පැමිණියේ අතළොස්සකි . 

අම්මාගේ අවසන් කටුයුතු නිමවී ගතව යන දෙවැනි දිනයේ නාදුනන මිනිසෙක් පැමිණියේය . වයස අවුරුදු 60 ක් පමණ ඇත . 
"මහත්තයා මාව දන්නේ නැහැ . මහත්තයා ගේ අම්මා නම් මාව දන්නවා . මට විජේරාමේ කඩයක් තියනවා . අම්මා නිතරම මාසකට සැරයක් වගේ ආව . සති දෙක තුනකට කළිනුත් ඇවිත් කතා කර කර ඉඳලා ගියා . මරණෙට එන්න බැරි වුණා . සමාවෙන්න . "
"කතා කර කර හිටියා ..? අම්මා කොහොමද කතා කෙරුවේ ..?"
"ඒ කිව්වේ ..?"
"අම්මට කතා කරන්න බැහැනේ . අංශ බාගේ හැදිච්චි දවසේ ඉඳන් . දැන් අවුරුදු දහයකට වැඩියි .."
"මට තේරෙන්නේ නැහැ මහත්තයා මොනවා කියනවද කියලා ..දැන් මාස තුනකට විතර කළින් ඇවිත් එයා මට දුන්නා මහත්තයා ගේ පරණ පුස්තකාල කාඩ් එකක් . මහත්තයාගේ පැරිස් ඇඩ්රස් එකත් එක්ක . හම්බ වුණාද ඒක ..? "

සිදුවෙමින් තිබෙන්නේ මා බලාපොරොත්තු වූ දෙයක් නොවේ . මට නොදැනෙන්නට සියල්ලෝ මා දෙස හොරැහින් බලා සිටින්නාක් වැනිය . 

"මම හෙට ආපහු යනවා . ටිකට් එක මාරු කර ගත්තා .."
"ඒ මොකද අයියේ .. අනිද්දා බණ . හත් දවසේ දානෙට වත් ඉන්න බැරිද ..? ඔයා සති තුනකට නේද ආවේ ..? මොකද මේ හදිස්සියේ දුවන්නේ ..? "
"වැඩ කරන තැන වැඩ ගොඩ ගැහිලා කියලා බොස් එන්න කිව්වා ..."
"අයියේ මේ ..බොරු පාට් දාන්න එපා . මට ඇත්ත කියන්න .. මම මේක අහන්න හිටියේ බොහොම කළින් අම්මා තමයි එපා කිව්වේ .."
"මොකක්ද ..? "
"මොකක්ද...? ඔයා දන්නෙම නැද්ද..? "
"නැහැ.. ඒක නෙමෙයි අර කඩයක් කරන මිනිහෙක් ඇවිත් කිව්වා අම්මා සති දෙකකට කළින් ඇවිත් කතා කර කර ඉඳලා ගියා කියලා .."
"ඉතිං ..?"
"ඉතිං ..? අම්මා කොහොමද කතා කරන්නේ ..? "
"අම්මට කවදාවත් කතා කරන්න බැරි වුණේ නැහැ අයියේ . එයා කිව්වා ඔයත් එක්ක කතා කරන්න කැමති නැහැයි කියලා . ඔයා මහා පාපයක් කෙරුවා කිව්වා . අම්මා කිව්වා ආයේ කවදාවත් ඔයත් එක්ක කතා කරන්නේ නැහැයි කිව්වා . ඒකයි එයා ඇගෙව්වේ අංසබාගේ කියලා. මොකක්ද අයියේ ඔයා කරපු පාප කර්මේ ..?"
"මම කරපු පාප කර්මයක් නැහැ . "
" ඔයා හිතනවා ඇති මම මෝඩියෙක් කියලා නේ ..? මම දන්නවා ඔයා කරපු දේ .." කිසිවක් කීමේ හැකියවක් මට තිබුණේ නැත . නැගණියගේ මුහුණ බලා සිටිය නොහැකි වූ තැන ඉවත යන්නට නැගී සිටිද්දී ඇය මගේ අතින් අල්ලා ගත්තාය . තමන් දෙසට ඇද පුටුවේ වාඩි ගන්නට බල කළාය . 
මම කියන්නම් වෙච්ච දේ .. ? ඔයාට නාලක කවදාවත් ලක්ෂ දහයක් දුන්නේ නැහැ නේද ..? "
"නැහැ . "
"හ්ම්ම් ..ඔයා ගියා ඩොටී නැන්දා හම්බ වෙන්න . එයා ඔයාට බැනලා එලව ගන්න හැදුවා . ඔයාට ගහන්න ආවද ..?
ඔව් .
"ඔයා එයාව තල්ලු කෙරුවා ..එයා වැටුණා . ඔලුව වැදුනා ..ඔයා මොකද කෙරුවේ කාමරේ තිබ්බ සල්ලි බෑග් දෙකක් අරන් එළියට පැන්නා . එහෙම නේද ..? "
කියන්නට කිසිවක් මා සතුව තිබුණේ නැත . 
ඔයා දන්නවද ඔයා එළියට එනකොට අම්මා ඔයාව දැක්කා කියලා . එයා දැකලා දැක්කේ නැහැ වගේ හිටියා . අම්මා ඩොටී නැන්දලා ගේ ගෙදර ගියාම එතන වැටිලා තිබුනාලු ඔයාගේ ලයිබ්‍රරි කාඩ් එක . ඒක ඔයාට තැපල් කරලා එව්වේ එයා හැම දෙයක්ම දන්නවා කියලා කියන්න . 

"ඔයා ඒ සල්ලි අරන් නේද ප්‍රන්සෙට ගියේ ..?"
"මම කෙරුවේ අපේ පවුල ගලවා ගත්ත එක . අපේ පවුල විතරක් නෙමෙයි . පවුල් දහයක් පහළොවක් මම බේරා ගත්තා . ගිනි පොලී ඩොටී ගෙන් . මම ඕනකමින් ඒ ගෑනිව මැරුවේ නැහැ . ඒකි ආව මට ගහන්න . මම තල්ලු කෙරුවා . එච්චරයි . ඒකි වැටිලා ඔලුව වැදුණා . "
"ඔයා රට ගියේ ඒ මිනිස්සුන්ගේ පොලී සල්ලි වලින් ..ඔයාට ලජ්ජා නැද්ද ..? "
"නැහැ මට ලජ්ජා නැහැ . මම කෙරුවේ පිළිකාවක් අයින් කරපු එක . මිනිස්සුන්ට සල්ලි දීලා පොලී අරං ජීවත් වෙච්ච කාලකන්ණි ගෑනියෙක්ව නැති කරපු එක ." 
"මට ලැජ්ජයි ..ඔයා මගේ අයියා වෙච්ච එක ගැන .." ඇය පුටුවෙන් නැගිට කාමරයට ඇතුළු වූවාය . මෙතෙක් දවසක් ගම්වාසීන්ගෙන් පිරී තිබුණු විසිත්ත කාමරයේ ඉතිරි වූයේ මා පමණි . ඡායාරූපයක හිඳ අම්මා මදෙස බලා සිටියි . 
ඇගේ සිනහ පිරි මුහුණ මදෙස බලා කියා සිටින්නේ , මට නොදැනෙන්නට දුරින් සිට ඇය මා දෙස බලා සිටි බවයි . දොළොස් වසරක් තිස්සේ මගේ රහස ඇය දැන සිටි බවයි . ඒ රහස ඇය රැක ගත් බවයි . තමා මිනීමරුවෙකුට කිරි දී හදාවඩා ගත් බවයි . ඔහුව සියලු ආබාධ , ආපදා වලින් ආරක්ෂා කර ගත් බවයි . 

නිවසින් පිටත බැස , ගෙවත්තෙන් පිටවී කුඩා අඩිපාර දිගේ මහා මාර්ගයට ළඟා වන මගේ පසුම්බියේ තිබුණේ ගමන් බලපත්‍රය , ගුවන් ටිකට් පත සහ රුපියල් තිස් දහසකට වැඩි මුදලක් පමණි . ඒ සියල්ල ප්‍රංශයට මා රැගෙන යන්නට ප්‍රමාණවත් බව මම දනිමි . 

"හන්දියේ හෝටලේකට මාව දාන්න බැරිද ..?" මාර්ගයේ තැනක නවත්වා තිබුණු ත්‍රිරෝද රථයකට එබුණු මම තරුණයා ගෙන් ඇසුවෙමි . 
"පුළුවන් සර් නගින්න ..මේ නාලනී නෝනා ගේ පුතා නේද ...? සුමේද මහත්තය නේද ..?"
"ඔව් .."
"නෝනා නම් හුගක් වෙලාවට යන්නේ මගේ වාහනේ ..එයා හරි කැමතියි මල් වගාවල් බලන්න . මම තමයි එක්ක යන්නේ .."
"අපේ අම්මා මං ගැන කතා කරළා නැද්ද ...?"
"ම්ම් ..නැහැ මහත්තයා . කවදාවත් නැහැ . දවසක් මම ඇහුවා . උත්තර දුන්නේ නැහැ ..ඒ උනාට මහත්තයා මරණෙට ආපු එක හොඳයි . මොනවා වුණත් අම්මා නේ .."
"ඔව් . ඒ මගේ අම්මා ..."

මධ්‍යම රාත්‍රිය පසුවී තිබේ . මාර්ගයේ වාහන අඩුය. ත්‍රී රෝද රථය වේගයෙන් ඇදෙයි . රියදුරා මා රැගෙන යන්නේ කොහෙටදැයි මම නොදනිමි . 
"අපි කොහේටද යන්නේ ..?"
"මහත්තයලා වගේ අය අරන් යන්න ඕන තැන මම දන්නවා .. " ඔහු කීවේය .


Nissanka Rajapaksa

unread,
Jun 11, 2025, 9:05:45 PMJun 11
to INDRAKA group
38

තැපැල් නොකළ ලිපිය

Azerbaijan ජාතික Abdulla Shaig විසින් රචිත Undelivered Letter කෙටි කතාවේ පරිවර්තනයකි



පරිවර්තනය : එම්.එම්. පාලිත මහින්ද මුණසිංහ

ශීත සෘතුවේ හිම වැටෙන දවසකි. එහි තියුණු ශීතල බව ඔබේ මුහුණට පවා දැනෙනු ඇත. ශෝකයෙන් බරිතවූ අහස ඝන තිමිරයකින් වැසී ගත් අතර කඳු සහ නිම්න සුදු පැහැති ආවරණයකින් වෙළාගෙන තිබුණි. හිම පතිත වීදියේ කපුටෝ එහා මෙහා පැන ගියෝ ය. හොඳින් ඇඳ පැලඳ සපත්තු පයලා සිටි මිනිස්සු, උණුසුම් නිවාස තුළින් එළියට බැස සුවපහසු ලෙස ඔවුන්ගේ අශ්ව කරත්තවල නැඟී ගියහ. ඇතැමෙකු පයින් ගියහ. හිම වැටෙන කටුක දවස ඔවුන් සතුටු කළා හැර කිසිවක් කළේ නැත.

ෂෙයිතාන් කඩවීදිය අද්දර, ගුර්බන් වාඩි වී සිටියේ ඔහුගේ ගම්වැසියෙකු වූ මුල්ලා ෆර්සාලි අසල ය. ඔහු අකුරු හා අභියාචනා ලියූ වීදි ලේඛකයෙකි. ගුර්බන් ශීතට නතුවී සිටියේ ය. එක් අතකින් ඔහු නූල් මතු වූ කමිසයේ විවෘත කරපටි එකටෙක අල්ලාගෙන සිටි අතර, අනෙක් අතින් තම සමට ඇලී තිබුණ කඩමාලු සපත්තුව ලිහිල් කිරීමට උත්සාහ කළේ ය.


“මට ලියුමක් ලියා දෙන්න මුල්ලා. මම හැමදාම ඔයාට ලාබයක් ගේනවා කියලා ඔයා දන්නවා නේ. මම ගමෙන් ඇවිත් අවුරුද්දකට වැඩියි. මේක ඔයා මට ලියාදෙන පස්වෙනි ලියුම.”

මුල්ලා ෆර්සාලි ඔහුගේ රළු ඇඟිලිතුඩු අතුල්ලමින් කඩදාසියක් එළියට ගෙන එය ඔහුගේ කලවා උඩ වූ ලෑලි කැබැල්ල මත තබාගත්තේ ය.

“මම මොනවද ලියන්න ඕන?” ඔහු ඈනුමක් පිටකළේ ය.

ඔහුට සමීපවූ ගුර්බන් ලොකු රහසක් කියන්නට මෙන් සැරසුණි.

“මුලින්ම, මගේ දරුවන්ගේ අම්මාට ආචාර කරන්න. දරුවන්ව ආදරයෙන් රැකබලා ගන්න කියලා එයාට කියන්න. ඊට පස්සේ අබ්දුල්ලා ෂයිගෙම්ව හොඳට බලාගන්න කියලා ලියන්න. අල්ලාහ්ට ප්‍රශංසා වේවා! මම හොඳින් ඉන්නවා. ගුලාම් – රේසා අත මම රූබල් පහළොවක් එවනවා කියලා ලියන්න. නිවාඩු කාලයේ තව ටිකක් එවන්නම් කියලත් එයාට කියන්න. දරුවන්ට අවශ්‍ය හැම දෙයක්ම අරන් දෙන්න කියන්න. වසන්තයේ අග භාගයේදී මම ගෙදර එනවා කියලා කියන්න.”

මුල්ලා තම පෑන ගෙන තීන්ත බඳුනට එබුවේ ය. ඔහු ලිපිය ආරම්භ කිරීමට සූදානම් වූ නමුත්, තීන්ත ඉතා ඝනවී ඇති බැවින් ලිවීමට නොහැකි විය. මුල්ලා ෆර්සාලි තීන්ත බඳුනට ප්‍රවේසමෙන් කෙළ ගසා, එය ඔහුගේ පෑන් තුඩෙන් කලවම් කර, කළ යුතු කාර්යයට යොමු විය.

නූල් පෑදුණු සළුව තම බෙල්ල වටා තවත් තද කරගත් ගුර්බන්, ඔහුගේ පපුවේ ඇති දිලිසෙන රෝම වසා ගත්තේය. කටුක ශීතලට තුන්කුදු ගැහී ඔහු පැමිණිලි කළේ;

“මගේ අලුත් ස්වාමියා කරුණාවන්ත නැහැ. අපි හාරමින් ඉන්න ළිඳ අඩි එකසිය අසූවකට වඩා ගැඹුරුයි. අපි පඩි වැඩිකරන්න කිව්වා, මොකද? ඒ තරම් ගැඹුරට යන එක බොහොම අපහසුයි. හුස්මගන්න බැරිව අපිව මැරෙයි. නමුත් ඒ අවජාතකයා, කැමති නෑ. ඌ කිව්වා අපි එකඟ වුණු විදියට හෑරීම කළේ නැත්නම්, ඌ අපිට කොහෙත්ම ගෙවන්නේ නෑ කියලා. මෙතැන සල්ලි හොයන එක අමාරුයි මුල්ලා.”

මුල්ලා ෆර්සාලි තම පෑන බිම තබා, අසල බිත්තියේ වූ කුහරයකින් වැලි ටිකක් ගෙන තීන්ත වියළීම සඳහා කඩදාසිය මත ඉස්සේ ය.

“ආහ්, මගේ මිත්‍රයා, ‘රණ්ඩුවක් පැත්තකින් ඉඳන් බලනකොට හැම වෙලාවෙම රසවත් වගේ පේනවා.”

“මිනිහෙකුට ඔයාගේ වැඩේට ඊර්ෂ්‍යා කරන්න පුළුවන්. ඔයා දවසකට ලියුම් පහක් හෝ දහයක් ලියනවා ඇති. අනිත් අය වෙනුවෙන් යාඥා කිහිපයක් කියනවා. අල්ලාහ් හැමදාම ඔයාට ලබාදෙයි! ඔයාට ඇති තරම් කෑම තියෙනවා. අල්ලාහ්ට ප්‍රශංසා වේවා! මට වෙන මොනවද ප්‍රාර්ථනා කරන්න පුළුවන්?” ගුර්බන් නැවතත් පවසා සිටියේ ය.

“ඔයා මොනවා කිව්වත් මගේ රැකියාව. ඊර්ෂ්‍යා කරන්න තරම් දෙයක් නෙමෙයි. ගිම්හානයෙයි, ශීත කාලෙයි මම මංසන්ධියේ ඉඳගෙන ගනුදෙනුකරුවන් එනකම් බලාගෙන ඉන්නවා. සමහර වෙලාවට මගේ ඔළුව කරකැවෙන්න පටන් ගන්නවා. මට කිසිම වැඩක් නැති දවස් තියෙනවා. ඒ නිසා මම මෙතන ඉඳගෙන මගේ හිස්වුණ බඩ අතගානවා.”

මුල්ලා ගුලි වී, ඔහුගේ උරහිස් වටා වඩාත් තදින් සළුව ඇඳගෙන ලිපිය ශබ්ද නඟා කියෙව්වේ ය. ගුර්බන් ඕනෑකමින් ඊට සවන් දුන්නේය. මුල්ලාගේ මුවින් පිටවන වචන ගිල දැමීමට මෙන් ඔහු තම කට අයාගෙන සිටියේ ය.

ලිපිය ගැන ගුර්බන් සතුටු වූ බවක් ඔහුගේ මුහුණෙන් දිස්වුණි. අවසානයේ ඔහු මෙසේ පවසා සිටියේ ය.

“මුල්ලා, මගේ ලියුම ගුලාම් – රේසාට දෙන්න. ඉතින් මම ආපහු එනතුරු දරුවෝ බලාගන්න කියලා එයාට කියන්න. අපේ රතු එළදෙනට මොකද වුණේ කියලත්, පොඩි අශ්වයා විකුණුවා ද කියලත් මට ලිපියක් ලියා එවන්න කියලා එයාට කියන්න. මම ගෙදර එනකොට ආනා ඛානුම්ටත්, මෙමිෂ්ටත් රූප තියෙන රතු ලේන්සු දෙකක් ගේනවා කියලත් ලියන්න.”

මුල්ලා ෆර්සාලි ලිවීම අවසන් කළ පසු, ඔහු කඩදාසිය ප්‍රවේසමෙන් නමා, ලියුම් කවරයකට දමා;

“මේක කාගෙ නමට ද ලියන්න ඕනෑ?” යනුවෙන් අසා සිටියේය.

ගුර්බන් ව්‍යාකූලත්වයෙන් හිස කැසුවේය.

“එය ගුර්බන්ගේ දරුවන්ගේ මවට දෙන්න කියන්න.”

මුල්ලා ෆර්සාලි එහි ලිපිනය ලියා ගුර්බන් වෙත දුන්නේය. ගුර්බන් වෙව්ලන දෑතින් එය පිළිගෙන හොඳින් පරීක්ෂා කළේය. එය ඔහුගේ සළුව තුළට දැමීමට සූදානම් වන අවස්ථාවේ ශීතල වූ ඔහුගේ ඇඟිලි මතින් ලිස්සා ගියේය. ඔහු ක්ෂණිකව නැමී, එය රැගෙන, මෘදු ලෙස ඔහුගේ පපුවට තබා ගත්තේය. ඊට පසු තම බෑගයෙන් කොපෙක් දහයක කාසියක් ගෙන මුල්ලාගේ අතට දුන්නේය.

“මෙන්න මේක ඔයාට. නිවාඩුවට කලින් මම ආයෙත් එන්නම් තවත් ලිපියක් ලියාගන්න. ඔයාට මගෙන් වැඩක් ලැබෙයි. ටිකක් ඉන්න.”

ඔහු එක අතකින් ලියුම් කවරය තද කරගෙන නැඟී සිටියේය. ගුලාම් – රේසාගේ නිවසට ගොස් ඔහුට ලිපිය ලබා දී තමාගේම වචන කිහිපයක් එකතු කිරීමට ගුර්බන් ඉක්මන් කළේය. ඔහුට යමක් ඉතිරිකර ගැනීමට හැකි වූ අතර උපන් ගමට ගොස් තම දරුවන් බැලීමට ගුලාම්-රේසා අදහස්කර සිටියේය. ගුලාම්-රේසා වාසනාවන්ත මිනිසෙක් යැයි ගුර්බන් සිතුවේය. තවත් මාසයකින් එහි සියල්ල වෙනස්වන ආකාරය ඔහුගේ සිතුවිලි අතරට එකතු විය.

කඳු මුදුන් මරකත පලසකින් වැසී යනු ඇත. වනාන්තර කොළ පැහැයෙන් සැරසී මල් පිපී ලස්සන වනු ඇත. උණුසුම් ප්‍රදේශ වෙත ගිය සතුන් ආපසු පැමිණෙනු ඇත. සැළලිහිණියන් සහ කොක්කු උන්ගේ පැරණි වාසස්ථාන සොයා යළි පැමිණෙනු ඇත. උද්‍යානවල වැඩ කටයුතු ඇරඹෙයි. ධීවරයන් ගංගා සහ විල් බලා පිටත්ව යනු ඇත. ගුර්බන්ගේ පපු කුහරයෙන් නැඟී ආ සුසුම නාස්පුඬු ඔස්සේ වාතයට මුසු විය.

අහ්, කටුක දුප්පත්කම, ඔයා ගුර්බන්ට මොකද කළේ ? ඔයා, එයාව පිට පළාතකට යැව්වා. එයාගේ බිරිඳගෙනුයි දරුවන්ගෙනුයි එයාව ඈත් කළා.

ගුර්බන්ට උගුරේ අපහසුවක් දැනුණි. ඔහුගේ හදවත ගල් විය. දණහිස් අගුළු වැටී ඔහු හිම මත වැටුණි. මොහොතකට පසු සිහි එළැඹි ඔහු හිස එසවීමට උත්සාහ කළේය. ඉතා දුර්වල සහ අසරණ බවක් ඔහුට දැනුණි. අශ්ව කරත්ත තුළ සිටි මිනිසුන්ගේ ප්‍රීතිමත් මුහුණු පාවී ගියේ ය. ද්වේෂයෙන් හා දොම්නසින් ඔහු ඒ දෙස බලා සිටියේ ය. තම ශක්තිය රැස්කර ගනිමින්, ඔහු සෙමින් නැඟිට, ලිපිය තවමත් එහි ඇති බව සහතික කර ගැනීමට ඉක්මණින් තම අත සළුව තුළට දැමී ය. අතට හසු වූ ලිපිය තව තවත් යටට තදකර, සුදුමැලි වූ දෙතොල් අතරින් ගුර්බන් දිගු සුසුමක් පිට කළේ ය.

ඔහු නැවතත් තම මිතුරා සිටින ස්ථානය බලා පියවර නැඟීය. එය අනපේක්ෂිත බලාපොරොත්තු සුන්වීමකි. එහි දොර අගුළු දමා තිබුණි. ගුර්බන් දුකෙන් ආපසු හැරුණි. ඔහු කම්කරුවන් සමූහයා මැදින් දෑස් අඳුරුකරගෙන ඇවිද යන අවස්ථාවේ හදිසියේම සෆාර් දුටුවේය. ගුර්බන් ඔහුට අත වැනී ය. ගුලාම්-රේසා නගරයට ගොස් ඇති බව දැනගත්තේය.

“එයා ආපසු පැමිණි වහාම, ගමට යෑමට පෙර මට එයාව හමුවෙන්න ඕනෑ බව කියන්න. මට ලියුමක් එක්ක මගේ පවුලට මුදල් ටිකක් යවන්න ඕනා. මා වෙනුවෙන් ඔහුට එය කියන්න.”

එක්වරම ස්වාමි හාජි-ගුලි ඔවුන්ට කෑගැසීමට පටන් ගත්තේය:

“අනේ අපතයෝ! කම්මැළියෝ! ළිඳ නොගැඹුරු වුණාම, මෙතැන මම ඔළුව උඹලා වලිගය. මම කොහේ හැරුනත්, උඔලා මා පසුපස බඩගාගෙන එන්න ඕනෑ. නමුත් දැන්, ඒක ගැඹුරුයි කියලා, උඔලා ඔළුව වෙන්න හදනවා. හැමදාම උඹලා තර්ජනය කරනවා. හැමදාම උඹලා අලුත් ඉල්ලීම් අරං එනවා. උඹලා කියන්නේ ළිඳ ගැඹුරු වැඩියි කියලද? ඒකෙන් මරණීය සුවඳක් එනව කියලද?. තවත් ඒ වගේ විකාර කතා. හිතලා බලපල්ලා! උඹලට සංවරකමේ හැඟීම නැති වෙලා. උඹලට වුවමණා පහර දෙන්න විතරයි!”

සෆාර් සහ තරිවර්දි ළිඳේ පතුලේ සිට ඉවතට ගත් වැලි බැහැරට හළා. බකට්ටුව නැවතත් පහළට යැවූහ.

“අපි තාමත් වලිගය, අග්ඝා,” තරිවර්දි පැවසී ය.

“සෆාර් උඹ දන්නවනේ ඒක කොච්චර භයානකද කියලා. ඒකෙ පහළ වැඩකරන හැටි. ඒකෙ කට හරියට බලාගෙන ඉන්න මකරෙක් වගේ. උඹ දන්නවනේ හොඳ හෘද සාක්ෂියක් හොඳ දෙයක් බව.” තරිවර්දි නැවතත් පැවසී ය.

“අතන බලන්න. එතන හැම බිම් අඟලකම, කොතැනක ගල්කටුවක් ගැහුවත්, උඹ කම්කරුවෙකුගේ ඇටකටුවලටයි පහර දෙන්නේ. උඹට හැම තැනකම උන්ගේ කෙඳිරිගෑම ඇහෙයි. මේ ලස්සන, උස ගෙවල්වල ජීවත් වන අයට පවා” සෆාර් ඈතින් පෙනෙන තෙල් ඩෙරිකය පෙන්වමින් පවසා සිටියේ ය.

“උඹට ඕන නම් ගිහින් මැරියන්.” අග්ඝා හඬ නැඟීය.

ඔවුන් අසලට පැමිණි හාජි-ගුලි තම පාදයකින් පොළවට ගසා කෑගසමින්;

“උඹලා හිතන්නේ සල්ලි ලේසියෙන් උනනවා කියලාද? උඹලාගේ අවදානම ජීවිතය ගැනයි. නමුත් අපි අපේ වාසනාව අවදානමට ලක් කරනවා.”

“සෆාර්! හේයි, ගුර්බන්! කඹය පහළට ඇදගෙන පලයන්.”

කම්කරුවන් දෙදෙනා නැවත තෙල් ළිඳ වෙත දිව ගියහ. ඔවුන් බිම වැතිරී එහි ගැට්ටට ඉහළින් ඒ දෙසට නැඹුරුවූ අවස්ථාවේ, අතිමහත් ශබ්දයකින් නැඟී ආ වාතයේ සැරෙන් ඔවුන් ඉවතට විසි කළේය.

“දෙවියන්, අනුකම්පා කරත්වා.” ඔවුන් බියෙන් කොඳුරන්නට විය.

සෆාර් මහත් ආයාසයකින් හිස එසවූයේ ය.

“ගුර්බන් මැරිලා.”

හාජි-ගුලිට ඒ හඬ නොඇසුණු බවක් පෙනෙන්නට තිබුණි. ඔහු ළිඳ වෙත ගොස් ප්‍රවේශමෙන් නැමී සිටියේය. ඔහුගේ දෑස් දිලිසුන අතර ප්‍රීතිමත් සිනහවකින් දෙතොල් ඇදී ගියේය.

“තෙල් එන්න සිදුරක් මතුවෙලා! උල්පතකින් වගේ ඉහළට තෙල් එනවා!”

“ගුර්බන්ගේ මළ සිරුර ගැන මොකද කියන්නේ හාජි? ඒක එතනම තියන්න කියල ද කියන්නේ?” උපේක්ෂා සහගත බවක් පෙන්නුම් කරමින් තරිවර්දි අසා සිටියේය. ඒ වදන් ඔවුන්ගේ ස්වාමියාට බිය උපදවන බලපෑමක් ඇති කළේය.

හාජි-ගුලි ගේ දෑස් විශාල විය. ඔහු තම මුදල් පසුම්බියෙන් රූබල් විසිපහක නෝට්ටු දෙකක් ගෙන

“මෙන්න මේක මිනිය අරගෙන එන ඕනෑම කෙනෙකුට දෙනවා.” යනුවෙන් මිමිණුවේය.

තරිවර්දි ළිඳ දෙසට එබී බැලුවේය. බුබුළු දමමින් තෙල් මතුපිටට නැගෙන්නට විය.

“දුප්පත් ගුර්බන්. ඔයා ඔයාගේම මිනීවළ හාරගත්තා.”

“මෙන්න, මේ සල්ලි අරන් උඹලා අතරේ බෙදාගනිල්ලා. නමුත් කාටවත් වචනයක්වත් කියන්න එපා, ඇහෙනවද? හාජි-ගුලි නැවතත් පවසා සිටියේය.

“ගුර්බන්ගේ ඇඳුම්වලට මොකද කරන්නේ අග්ඝා?”

සෆාර්ගේ උරහිස මත මෘදු ලෙස අත තැබූ හාජි-ගුලි;

“ඒවා මෙහේ කොහේ හරි වළලපන්” යැයි පැවසීය.

ඔවුන් ගුර්බන්ගේ ඇඳුම් එකතුකරන අවස්ථාවේ ලියුම් කවරයක් බිමට වැටුණි.

තම බිරිඳට යවන්න ඔහු ලියවාගත් ලිපිය එහි විය.

“ආහ්…දුප්පත් ගුර්බන්….”


Nissanka Rajapaksa

unread,
Jun 22, 2025, 8:33:47 PMJun 22
to INDRAKA group

39

අම්මාවරු

- ෂර්මිලා බංදුනී දංවත්ත

දහවල් දොළහේ රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය දෙස ශාන්ති බලාගෙන හිටියේ ඇසිපිය නොහෙළාය. පුංචිම පුංචි දෙයක්වත් තමාට අත්හැරේවිද කියන බියෙන් ඇය රූපවාහිනිය ඉදිරිපිට ඉඳගැනීමට පෙර උපැස් යුවළද හොඳට පිහදාගෙන ආවාය. ඒ වෙලාවේ විකාශය වුණු ප්‍රවෘත්තිවලින් වැඩි වෙලාවක් වෙන් වී තිබුණේ නව රජයේ අමාත්‍යවරුන්ගේ ලේකම්වරුන් වැඩ භාරගැනීමේ අවස්ථාවටයි. ඒ අතුරින් වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට වැඩි අවධානයක් යොමු වූයේ ඔහු කවුරුත් දැනහඳුනන ජනප්‍රිය චරිතයක් වූ බැවිනි.

“ලතා අක්කත් ඉන්නවා…”

සමීප රූප රාමුවක සිටියේ සිනාමුසු මුහුණින් යුතු, ඔසරිය ඇඳි, ශාන්තිට වඩා වසර කිහිපයක් වැඩිමහලු කාන්තාවකි.

“මට මේ තරම් සතුටු නම්, ලතා අක්කට මොන තරම් සතුටු ඇතිද?…” ශාන්ති හයියෙන් කිවුවේ උපනන්ද ළඟපාතක ඇතැයි සිතමිනි.

ශාන්ති තම කල්පනාව මීට වසර තිස්පහකට පමණ පෙර අතීතයට මෙහෙයවූවාය. එකල ශාන්ති සේවය කළේ හොරණ ප්‍රදේශයේ පාසලකය. එකල තම එකම පුතුට වයස වසර තුනක් පමණ වන්නට ඇත. ශාන්ති හා උපනන්ද තමන්ටම කියා නිවෙසක් සාදාගෙන බණ්ඩාරගම පදිංචියට ගියේද ඒ අවුරුද්දේමය.

මහගෙදර හිටියේ අම්මත් තාත්තත් පමණක් වූ නිසා පාසල අවසන් වූ පසු සතියකට දවසක් දෙකක් මහගෙදරට ගොඩවැදී සැප දුක් සොයා බැලීම ශාන්තිගේ සිරිත විය. වෙනදා මෙන් එදිනද මහගෙදරට ගියේ අම්මා හා තාත්තා බැලීම සඳහාය. ශාන්ති ගෙට ගොඩ වන විට කුඩා දරුවකු සමඟ පැමිණි පුද්ගලයකු සිය පියා සමඟ ආලින්දයේ කතාබහ කරමින් සිටිනු දුටුවාය.

“දුව අඳුනනවද මේ මාමව?”

“මූණ නම් හුරුයි… ඒත් හරියටම මතක නැහැ.”

“මේ මැරුණු සීතා නැන්දාගේ මහත්තයා යසවර්ධන. මේ ඉන්නේ ඒගොල්ලන්ගේ බාල පුතා.”

විදුලිසරයක් මෙන් ශාන්තිගේ මතකයේ මැවුණේ මියගිය සීතා නැන්දාය. එය සියදිවි නසාගැනීමකි. සීතා නැන්දා බෝධිය අසලින් කළුගඟට පැන තිබුණේ මේ දරුවාට වසර දෙකක් පමණ වෙද්දීය. පොඩ්ඩාට අමතරව අවුරුදු දොළහක පමණ වැඩිමල් පිරිමි දරුවකුද ඔවුන්ට සිටි අතර, සීතාගේ මරණයට නිශ්චිත හේතුවක් කවුරුත් දැන සිටියේ නැත. ආරංචි වූ පරිදි, පොලිස් නිලධාරියකු වූ යසවර්ධනට රැකියාව අහිමි වී තිබුණේ බීමත්ව රාජකාරියේ යෙදීමේ වරදටය. රැකියාව අහිමි වීවෙන් ඇති වූ ලජ්ජාව හා අගහිඟකම් මෙන්ම ඔහුගෙන් සිදු වූ අඩන්තේට්ටම් හමුවේ සිහි මඳ තත්ත්වයට පත් සීතා ගඟට පැන දිවි නසාගෙන තිබිණි. වැඩිමල් දරුවා සීතාගේ ඥාතීන් ගෙන ගොස් තිබුණු අතර, කුඩා දරුවාට අසීමිතව ආදරය කළ යසවර්ධන දරුවා කිසිවකු භාරයට පත් කිරීමට අකමැති විය. එබැවින් යන යන තැන දරුවා රැගෙන යමින්, අතට අහු වන කුමක් හෝ රැකියාවක් කරමින් දවසම බීමතින් ගෙවූ යසවර්ධන අහළ පහළ නිවෙස්වල අයගෙන් ලැබෙන උදවුවෙන් දරුවා ලොකු කරගෙන ඇත.

“දුවේ, මේ දරුවට දැන් අවුරුදු හයක්. ඉස්කෝලේකට දාලා නැහැ තවම. දුවට පුළුවන්ද ප්‍රින්සිපල් එක්ක මේ ගැන කතා කරලා බලන්න?”

ශාන්ති දරුවා දෙස සැලකිල්ලෙන් බැලුවේ එවිටය. කිලුටු කමිසයක් හා කොට කලිසමකින් සැරසී සිටි කෙසඟ දරුවාගේ තිබුණේ අපිරිසුදු පෙනුමකි.

“මෙහෙ එන්න පුතා මගෙ ළඟට.”

ශාන්ති දරුවාගේ අතකින් අල්ලාගැනීමට සැරසුණු විට අත ගසාදැමූ දරුවා සතුරු බැල්මකින් ඇය දෙස බලා තම පියා පිටුපස සැඟවිණි. ඒ නෙත්වල ලියවී තිබුණේ හීලෑ නොවූ පෙනුමකි. කොණ්ඩයද දෙකන් වසාගෙන වැඩී තිබුණු අතර, දරුවාට තිබුණේ වයසට වඩා පෙනුමකි.

පසුදා වෙනදාටත් කලින් පාසලට ගිය ශාන්තී වෙලාවක් බලමින් සිටියේ විදුහල්පතිවරයා හමු වීමටය. දහවල විවේකයෙන් පසුව විදුහල්පති හමු වූ ශාන්ති දරුවා පිළිබඳ සියලු තොරතුරු ඔහු හමුවේ තැබීය. මඳක් කල්පනාවේ ගැලී සිටි විදුහල්පතිවරයා පැවසුවේ පසු දින උදෑසන උප්පැන්න සහතිකයත් රැගෙන දරුවා සමඟ පාසලට පැමිණෙන ලෙස පියාට දන්වන ලෙසයි. පාසල ඇරී මහගෙදරට ගිය ශාන්ති පියාට දන්වා සිටියේ කෙසේ හෝ හොඳ සිහියෙන් යසවර්ධන පසුදා පාසලට එවන ලෙසයි.

කියූ ලෙසටම තමන් පැමිණෙනතුරු යසවර්ධන දරුවා සමඟ පාසලේ ගේට්ටුව අසල අරලියා සෙවණේ බලා සිටියේය. ඔවුන් සමඟම පාසලට ඇතුළු වූ ශාන්ති කෙළින්ම ගියේ විදුහල්පතියරයා හමු වීමටය. යසවර්ධනට පුටුව පෙන්වූවත් වාඩි නොවී බිත්තියට හේත්තු වී සිටියේය.

පොඩි වී කහ පැහැ ගැන්වී තිබූ උප්පැන්න සහතිකය පරීක්ෂා කළ විදුහල්පතිවරයා යසවර්ධන අමතමින් දරුවාගේ අධ්‍යාපන අයිතිය පිළිබඳ පැහැදිලි කළ අතර, දරුවා පාසලට නොදැමීමෙන් කර ඇති වරදේ බරපතළකම අවබෝධ කර දීම සඳහා යොදාගත් වාග් මාලාව යසවර්ධනගේ හදවතට කාවැදුණු බව පෙනුණේ ගලන කඳුළු වළකාගැනීමට කිහිප වරක්ම ඇස් පිසදමනු දැකීමෙනි. විදුහල්පතිවරයාගේ දෙපා මුල වැඳවැටුණු යසවර්ධන ඉල්ලා සිටියේ අනුකම්පා කර දරුවා පාසලට භාර ගන්නා ලෙසයි.

දරුවා නහවා, ඇඳුම් සෝදා, පිරිසුදුව සඳුදා උදෑසනින් රැගෙන එන ලෙස පැවසූ විදුහල්පතිවරයා, යම් මුදලක් යසවර්ධන අත තැබුවේ දරුවාගේ කොණ්ඩය කප්පා, දත් මැද, දරුවා නහවා ගෙන එන ලෙස දන්වමිනි. විදුහල්පතිවරයා නිල ඇඳුම් රෙදි පාර්සලයක් ශාන්ති අත තැබූවේ මසාගෙන එන ලෙස දන්වමිනි.

හවස උපනන්ද ආ පසු ඔහු සමඟ බණ්ඩාරගම නගරයට ගිය ශාන්ති නිල ඇඳුම් රෙදි මැසීමට භාර දුන් අතර, මසා නිම කළ නිල ඇඳුම් කට්ටල දෙකක් ද මිලට ගත්තාය. දරුවාට අවශ්‍ය වන පැන්සල මකනයේ සිට සියලු උපකරණ මිලට ගත් ශාන්ති හොඳම වර්ගයේ සපත්තු කුට්ටමක් හා මේස් සමඟ දරුවාට යට ඇඳුම්ද ගත්තාය.

උපනන්ද සඳුදා ශාන්තිව මෝටර් රථයෙන්ම පාසලට ගොස් ඇරලුවේ ගෙනයන්න තිබූ බඩුබාහිරාදිය හේතුවෙනි. ඒ වන විටත් දරුවා සමඟ යසවර්ධන අරලිය සෙවණේ බලා සිටියේය. දරුවාගේ කොණ්ඩය කප්පවා තිබුණු අතර, සෝදා නහවා ඇති බවක්ද පෙනෙන්නට තිබිණි. එහෙත් දරුවාගේ ඇස්වල ඇති හීලෑ නොවූ බැල්ම නම් එසේම විය.

ලියකියවිලි වැඩ අවසන් කළ විදුහල්පතිවරයා දරුවාට නිල ඇඳුම අන්දන ලෙස ශාන්තිට භාර කළේය. යසවර්ධනත් දරුවාත් සමඟ ගුරු විවේකාගාරයේ ඇතුළු කාමරයට ගිය ශාන්ති කොපමණ උත්සාහ කළත් දරුවා ඇඳුම් ඇඳගැනීමට කැමැති කරවාගැනීමට නොහැකි විය. පියාගේ ඇඟේ දැඩිව එල්ලී සිටි දරුවා සියල්ල ප්‍රතික්ෂේප කළේ මුරණ්ඩු ලෙස කෑගසමිනි. අවසන ඇඳ සිටි ඇඳුමෙන්ම දරුවා පන්තියට රැගෙන යෑමට සිදු විය.

දරුවා පළමු ශ්‍රේණියට කැඳවාගෙන යන අතර ශාන්ති යසවර්ධනට බොහෝ උපදෙස් දුන්නාය. ඔවුන් යන විට පන්තිය පටන්ගෙන තිබූ අතර, වියපත් කාරුණික ගුරුවරියක වූ ‘පද්මා මිස්’ සිටියේ දරුවා බලාපොරොත්තුවෙනි. දරුවා දුටු ගුරුතුමිය පැමිණ අතින් අල්ලා පන්තිය තුළට කැඳවාගෙන යෑමට සැරසුණා පමණි, ළතෝනි දෙමින් පියාගේ ඇඟේ එල්ලුණු දරුවා කුමන ආකාරයකටවත් පන්ති කාමරය තුළට ගත නොහැකි විය.

අවසන දරුවා සමඟ යසවර්ධනද පන්ති කාමරය තුළට ගත් ගුරුතුමිය පන්තිය කරගෙන ගියාය. කිසිවක් කෙරෙහි කිසිදු අවධානයක් නොදැක්වූ දරුවා වැරෙන් පියාගේ අතක් බදාගෙන සිටියේය. විවේකයේදී දරුවාත් යසවර්ධනටත් කෑම ගෙන ගොස් දුන් ශාන්ති දරුවා සමඟ මිතුරු වීමට උත්සාහ දැරුවද ඔහු ශාන්ති දෙසවත් බැලුවේ නැත. පන්තිය නිම වී දරුවා සමඟ පිටව යන යසවර්ධනට දරුවාගේ ඇඳුම් සහ සපත්තු භාර දුන් ශාන්ති පැවසුවේ පසුදා උදෑසන ඒවා අන්දවාගෙන පැමිණෙන ලෙසයි.

පසුවදා ශාන්ති පාසලට යන විට දරුවා සමඟ යසවර්ධන පන්තිය අසල සිටියේය. එදිනද පන්තිය නිම වන තුරුම දරුවා සමඟ යසවර්ධනද පන්තිය තුළම සිටි නමුත් දරුවා පියාගේ අත අත්හැර, පුටුවක තනිව වාඩි වී සිටියේය.

තුන්වැනි දින උදෑසන ගුරුතුමිය දරුවා පමණක් පන්තිය තුළට ඇදගෙන යසවර්ධන පිටතට තල්ලු කර දැල් දොරටුව වසා දැම්මාය. දරුවා මොරදෙමින් දොරට පහර දෙන්නත් බිම පෙරළෙන්න වූ අතර, සපත්තු ගලවා වීසි කර දැමුවේය.

කලබැගෑනිය ආරංචි වූ විදුහල්පතිතුමා පන්තියට පැමිණ මහ හඬින් වේවැලෙන් මේසයට පහර දුන් අතර බියේ වෙව්ලා ගිය දරුවා වහා පුටුවේ වාඩි විය. එදින පන්තිය නිම වන තුරුම දරුවා දැල් දොරේ එල්ලී පිට්ටනිය කෙළවර අරලිය ගස් සෙවණ දෙස බලාගෙන සිටි අතර, යසවර්ධන එහි සිට පන්ති කාමරය දෙස බලාගත්වනම බලා සිටියේය.

පුදුමය වූයේ කොතරම් අකැමැති වූවත් දරුවා දිනපතා පාසල් පැමිණීමය. එමෙන්ම යසවර්ධන දරුවා රැගෙන ඒමය. දින කිහිපයක්ම දරුවා ඇතුළට දමාගෙන දොර වසාගනු ලැබූ අතර, ඒ දින කිහිපයේම පාසල නිම වන තෙක් යසවර්ධනද අරලිය සෙවණේ රැඳී සිටියේය.

ඊළඟ සතියේ සඳුදා විදුහල්පතිවරයා යසවර්ධන ගෙන්වා අවවාද කළේ දරුවා පන්තියට දමා පිටව ගොස් පන්තිය අවසන් වූ පසු රැගෙන යෑමට පැමිණෙන ලෙසය. යසවර්ධන හඬමින් පිටව ගිය අතර, දැල් දොර අතරින් පාළු අරලිය ගස් සෙවණ දෙස බලමින් දරුවා ඒ සතියද ගෙවා දැම්මේය. එහෙත් දරුවා විවේකයේදී ශාන්ති ගෙන ගොස් දෙන ආහාර බලාපොරොත්තුව සිටි අතර, ශාන්තිට මඳක් හීලෑ ගතියක්ද පෙන්වන්නට විය.

දරුවා කුඩා හෝ ක්‍රියාකාරකමකට හුරු කරවාගැනීමට මසක් පමණ ගත විණි. ගුරුතුමියේ කරුණාව හා ඉවසීම හමුවේ අකුරක් ලිවීමට හා කියවීමට හුරු වන විට මාස දෙකක්ද ඉක්ම ගොස් තිබිණි.

ශාන්ති හදිසියේ නිවාඩු ගන්නා දවසට දරුවාගේ උදෑසන සහ දහවල් ආහාරය පන්තියට ගෙනගොස් දෙන ලෙස භාර කර තිබුණේ පාසල් ආපනශාලාව පවත්වාගෙන යන ලතා අක්කාටය. ක්‍රමයෙන් දරුවා ශාන්ති නැති දිනවලදී ආපනශාලාවට ගොස්, ලතා අක්කාගෙන් ආහාර ලබාගැනීමට හුරු විය. ඒ ආකාරයෙන් ලතා අක්කා සමඟ ද දරුවාගේ සුහදත්වයක් ගොඩනැඟිණි.

දිනක් ශාන්ති ආපනශාලාවට ගිය අවස්ථාවක ලතා අක්කා විමසා සිටි දෙයින් ශාන්ති පුදුමයට පත් වුවාය.

“මිස්, දේශාන්ගෙ තාත්තා දේශාන්ව හදාගන්න දෙන්න කැමැති වෙයිද?”

“කාටද?”

“වෙන කාටවත් නෙවෙයි මිස්, මට. මම කැමැතියි ඒ පුතාව හදාගන්න. මට ඕනෑ දරුවට හොඳට උගන්නලා ලොකුමහත් කරන්න විතරයි. ඊට පස්සෙ ආපහු තාත්තා ළඟට ගියත් මට කමක් නැහැ.”

උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබන දියණියක සිටි ලතා අක්කා හොඳ ගෙයක් දොරක් තිබූ, යම් වත්පොහොසත්කමක්ද ඇති කාන්තාවකි. ඇයගේ සැමියා වූ පියසිරි ද ඉතා ගුණයහපත් තැනැත්තෙකි.

“ඒක නම් හොඳ අදහසක්! මම අහල බලන්නම්.”

ශාන්ති, ලතා අක්කාට පොරොන්දු වූවාය.

එදින හවස දරුවා රැගෙන යෑමට පැමිණි යසවර්ධනගෙන් ශාන්ති, ලතා අක්කාගේ යෝජනාව ගැන විමසා සිටියාය. කඳුළු පිරි දෙනෙතින් ශාන්ති දෙස බලා සිටි ඔහු හිස සලා කැමැත්ත පළ කළේය. මේ ආරංචිය ලතා අක්කාට පැවසූ ශාන්ති පවසා සිටියේ පළමුවම දරුවා හොඳින් යාළු කරගන්නා ලෙසයි. ඒ අනුව දින කිහිපයක් පාසල නිම වී ලතා සමඟ ඇයගේ නිවෙසට ගිය දරුවා පැය කිහිපයක් එහි ගත කොට හැන්දෑ වූ පසු පියා සමඟ ගොස් තිබිණි. ඒ අයුරින් ලතා අක්කාගේ නිවෙසට ක්‍රමයෙන් හුරු වූ දරුවා එහිම නැවතිණි. වරින් වර පැමිණ දරුවා දැක බලා ගිය යසවර්ධනගේ ගමන නැවතුණේ බීමතින් පාර මාරු වීමට ගොස් ලොරියක හැපී අවසන් ගමන් යෑමට සිදු වීමෙනි.

ශාන්තිට බණ්ඩාරගමට මාරු වීමක් ලැබුණේ දේශාන් තුනේ පන්තියේ ඉගෙනුම ලබද්දීය. නැවත ශාන්තිට දේශාන් දකින්න ලැබුණේ ඉන් වසර තුනකට පමණ පසුවය. ඒ, ශාන්තිගේ පියාගේ අවමංගල්‍යයේදීය. ඒ වන විට ඔහු හයේ පන්තියට සමත්ව සිටියේය. නිතර නිතර හමු නොවූවත් විටින් විට දුරකතනය ඔස්සේ තොරතුරු සොයා බැලූ ශාන්තිට නැවත දේශාන් මුණගැසුණේ ඔහු අපොස සාමාන්‍ය පෙළ හොඳින් සමත්ව ප්‍රතිඵල පැවසීම සඳහා ලතා අක්කා සමඟ ශාන්තිලාගේ නිවෙසට පැමිණි දිනයේදීය.

දේශාන් උසස් පෙළ සමත්ව කොළඹ විශ්වවිද්‍යාලයට තේරුණු අතර, නැවත ශාන්තිට ඔහුව දකින්නට ලැබෙන්නේ පියසිරි අයියාගේ අවමංගල්‍යය අවස්ථාවේය.

වරින් වර සිංහල අවුරුදුවලට ලතා අක්කා සමඟ ශාන්ති බැලීමට ආ දේශාන් විශ්වවිද්‍යාලයෙන් පිට වූ පසු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සේවයට එක් විය.

කෙමෙන් උසස් වීම් ලබමින් ඉහළට ගිය දේශාන් වැඩි කලක් නොගොසින්ම පරිපාලන සේවයට එක් විය. ටික කලකින් ඔහු සමඟම විශ්වවිද්‍යාලයේ සිටි යුවනි හා විවාහ වු‍ණේය.

වරක් තමන් උගත් පාසලේ උත්සවයක ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූයේ දේශාන්ය. ශාන්තිටද ඊට සහභාගි වීමේ අවස්ථාව උදා විය. එහිදී තම අතීතය පාසල් දරුවන් ඉදිරියේ දේශාන් විස්තර කළේ ඔවුන්ට ආදර්ශයක් වන පරිද්දෙනි:

“ඔය දරුවන්ට ඉන්නේ එක අම්මයි. ඒත් මට මේ ජීවිතයේ මවු ගුණයෙන් පිරිපුන් මවුවරුන් කිහිපදෙනකුම හිටියා. ඒ මවුවරුන්ගේ සෙනෙහස විඳලා තියෙනවා. ඒ වගේම මනුසත් ගුණයෙන් පිරි පියවරුන්ගේ සෙනෙහසත් මම විඳලා තියෙනවා. ඒ නිසා මම ඉතා වාසනාවන්ත දරුවෙක්…”

දේශාන්ගේ කතාව අසා සිටි තමා මෙන්ම ලතා අක්කාද, පද්මා මිස්ද එක විටම කඳුළු පිසලනු ශාන්ති දුටුවාය.

https://www.silumina.lk/2025/06/21/news-features/43369/%e0%b6%85%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f%e0%b7%80%e0%b6%bb%e0%b7%94/?fbclid=IwY2xjawLExRtleHRuA2FlbQIxMQABHr5qwSR0foY5uYv_pC2CWj2lBXXeIwc16oxXRIAW-uX4Tel16HLPtbGgRaQf_aem_26FeWcOYp5327fg711EwZQ

Nissanka Rajapaksa

unread,
Jun 24, 2025, 9:12:08 PMJun 24
to INDRAKA group
40
රසට උයන මගේ ගැහැනිය ...

 - මංජුල සේනාරත්න 

"රහට උයන්න බැරි ගෑනියෙක් කියන්නේ කිරි ගන්න බැරි එළදෙනක් වගේ ..." අම්මා කියූ අයුරු මට මතකය . මගේ වයස අවුරුදු දහයක් පමණ වන්නට ඇත . අපේ කුලී නිවසේ සාලයේ , කුඩා රවුම් මේසයේ වාඩි ගෙන , රාත්‍රී බත් පතට හිස නමාගෙන සිටි මට අම්මා කියන දේ ගැන වැඩි වැටහීමක් තිබුණේ නැත . සත්‍ය වශයෙන්ම මා මුවට ගනිමින් සිටි ,  ව්‍යංජන තුනක් සමග මුසු වුණු බත් පිඩේ යම්  රසයක් ඇත්දැයි සිතා  ගැනීමට තරම් දියුණු මනසක් ඒ දිනවල මට තිබුණේ නැත .

 

ඇතැම් දිනක රාත්‍රියේ , සාලය දෙසින් ඇසෙන තාත්තා ගේ ගෝරනාඩුව ඇසී නිදන කාමරයේ දොර රෙද්දට මුවා වී බැලූ විට පියාඹන පීරිසි දුටිමි . ඒවා පීරිසි නොව පිගන්ය . අම්මාගේ කෑම වල රසයක් නැතැයි කියා , කෝපයට පත් තාත්තා කෑම පිගන් , පීරිසි අහසට විසි කරමින් සිටියි . රහට උයන්න බැරි ගැහැනියගේ අඩුව දුටුවද අපේ අම්මාටද උයන්නට කිසිදු හැකියාවක් තිබුණේ නැත .

 

තාත්තාගේ නික්ම යාමෙන්  පසුව තරුණ වියට පත් වෙද්දී , සත්‍ය වශයෙන්ම අපේ අම්මාට උයන්නට බැරි බව මම තේරුම් ගතිමි . දන්නා තරම් පද කස්තිරම් ඇල්ලුවද , විවිධාකාරයේ අත්හදා බැලීම කළද , අවසානයේදී ඇය අතින් බිහි වූයේ කටට රස නැති බත් පිගානකි. ඒ බත් පිගානේ කිසිදු රසයක්, අගය කිරීමකට ලක් කළ හැකි ගුණයක්  තිබුණේ නැත . අද දවසේ FB දකින බොහොම කෑම පින්තුර මෙන් " රහ පාටයි " වගේ වුණාට කිසිදු රසක් එහි නොවිණ . බත් පිගාන බෙදා දී "මොනවා හරි අඩුවක් තියනවද මගේ පුතේ ..? "  යනුවෙන් අම්මා අහන ප්‍රශ්නයට "ඔව් අම්මේ . රසේ පොඩි අඩුවක් තියනවා . මෙලෝ රහක් නැහැ .." යැයි කියන්නට සිතුනද , තාත්තා මෙන්  මේසය මත ඇති පිඟන් අහසේ පා කරන්නට මට සිතුන ද තරුණ වියේදී ම සිතේ ඇතිවුණු ගැහැනියකට ඇති ගෞරවය නිසා ම මුවින් නොබැන සිටීමට මම උත්සාහ කළෙමි .

 

මා  වටා සිටි  , නැන්දලා , අක්කලා , පුන්චිලා , ලොකු අම්මලා , හැම දෙනෙක්ම පැණි වෑහෙන  කෑම උයද්දී අපේ අම්මාහේ කිසිම කෑම වේලක කිසිම රසක් නැති වීමට හේතුව කුමක්ද ..? ඇයට ඇගේ අම්මා ගෙන් උයන පාඩම් නොලැබුණේ ද..? තාත්තා අපිව අතහැර ගියේ සත්‍ය වශයෙන්ම අම්මාගේ කෑම කටේ තියන්නට බැරි නිසාද ..?

 

තාත්තා ගේ අලුත් මනාලියගේ අතින් බිහි වෙන කෑම වේලක රස බැලීමේ ආශාවක් මට ඇති විය . එහෙත්  අම්මාගේ කෑම වේල මෙන්ම තමන්ගේ එකම පිරිමි දරුවාද සදහටම අමතක කර දමා තිබුණු නිසා තාත්තා ගේ අලුත් සිරි නිවසෙන් ආරාධනාවක් කිසි දිනක මට ලැබුණේ නැත .

 

රහට උයන්නට දන්නා ගැහැනියක සිටීම යුග  දිවියක් පවත්වාගෙන යන්නට කොතරම් උපකාර වන්නේද ...?

 

 

තවත් වසර කීපයකට පසුව , පැරිස් නගරයේ උමං දුම්රියකදී , මා ඉදිරියේ ලාංකික යැයි කිව හැකි තරුණියක් වාඩිගෙන සිටියාය . ඇය ප්‍රසන්න පෙනුමැති , කැපී පෙනෙන සිරුරක් හිමි දෙවරක් නොව හය හත් වතාවක් හැරී බලන්නට සිතෙන මිනිස් දියණියකි . ඇගේ අතේ සිංහල නවකතාවකි . ඇගේ පය පාමුල , ඝනකම් බෑගයක එළවලු වර්ග කීපයකි . ඒ අතරින් දඹල කරල් දෙකක් පිටත විත් මදෙස බලා සිටියි . පොත් කියවන කෙල්ලෙක් . දඹල උයන කෙල්ලෙක් .

ඒ ප්ලාස්ටික් බෑගයේ ඇති එළවලු ගොන්න  එතැනින් ඉවත් කර මගේ හදවත එයට ඇතුල් කරන්නට   ඒ මොහොතේ මම තීරණය කළෙමි . තම පය පාමුල දෙපයට  හිර වී ඇත්තේ මගේ හදවත බව නොදන්නා තරුණිය , ගමනාන්තයට පැමිණි විට බෑගය අතට ගෙන අසුනින් නැගී සිටියාය . එළවලු කූඩය බරින් වැඩි බව ඇයට දෙනෙන්නට ඇත . මදෙස බලන ඇය යන්තම් සිනහවක් මුවගට නගා ගෙන , පුදුමයෙන් දෙනෙත් විශාල කර , මුව විවර කරන්නට උත්සාහ කළාය .

"ඔයා මේ බෑග් එකට මොනවා හරි දැම්මද ..?"

"ඔව් ..මගේ හදවත .."

"දැන් කොහොමද මේක අරන් මම ගෙදර යන්නේ .. අක්කා අහයි කාගේද කියලා . එයාට කේන්ති යයි .."

"අපරාදේ ..මම කවදාවත් කාටවත් ඔහොම හදවත දීලා නැහැ .."

"කමක් නැහැ .. මම අක්කට බොරුවක් කියන්නම් . එයා ගෙදර හිටියේ නැත්නම් එයාට නොපෙනෙන්න අල්මාරියේ දාලා තියා ගන්නම් . මමත් කවදාවත් හදවතක් ගෙදර අරන් ගිහින් නැහැ . මේ පළවැනි වතාව .."

 

 

තවත් මාස හයකට පසුව අපේ විවාහය සිදු වී , එක්තැන් වන්නට කුලී නිවසක් සොයද්දී , මොනවා නැති වුණත් ලොකු කුස්සියක් තියන ගෙයක් හොයා ගන්නැයි ඇය, සුමාලි කීවාය . එහෙත් දහයක් පමණ වූ තට්ටු නිවාස වලට ඇතුල් වූවද තරමක් විශාල මුළුතැන්ගෙයක් ඇති තැනක් සොයා ගන්නට මට නොහැකි විය . අපේ මාසික ආදායම අනුව හිමි කර ගත හැකි සෑම තට්ටු නිවාසයකම කුස්සියට හිමි වී තිබුණේ පොඩි ඉඩකි .

"ප්‍රංශ ගෑනු උයන්නේ නැද්ද අප්පා .අත දිඟ හැරලා උයන්න බැහැ නේ මේ හුන්ඩු වගේ කුස්සි කෑලි වල ..." අවසානයේදී තෝරා ගන්නට සිදුවුණු තට්ටු නිවාසයේ මුළුතැන්ගෙට වී හඬන්න ලංව ඇති දෙනෙතින් මදෙස බලා  සුමාලි  පවසද්දී මට කළ හැකිව තිබුණේ ඇයව වැළඳ ගැනීම පමණි .

"උයන එක අපේ ගෑනුන්ගේ ජීවිත වල කොටසක් වුණාට ප්‍රංශ ගෑනුන්ගේ එහෙම නැහැ . මේ නගරේ ප්‍රංශ ගේක හැදෙන්නේ බොහොම සුළු දෙයක් . ප්‍රංශ කාරයින්ගේ කෑම සංස්කෘතිය  තියෙන්නේ රෙස්ටුවන්ට් වල . අපේ ඒක තියෙන්නේ ගෙවල් වල . අපේ ගෑනු පැය තුන හතරක් අරගෙන හදන කෑම වේල අපි විනාඩි විස්සෙන් කනවා . ප්‍රංශ කාරයෝ විනාඩි දහයෙන් හදන කෑම එක පැයක් තිස්සේ කනවා ..  ඒකයි වෙනස .." මම කීමි. ඇය පුදුමයෙන් බලා සිටියාය .

පැරිස් දහයේ , සාම මාවතේ (Rue de La Paix ) මාවතේ  , අංක හයේ , පස් වැනි තට්ටුවේ අපේ නවාතැනේ පුංචි කුස්සියට වී මගේ ගැහැනිය රස අහර සාදමින්  සිටියාය . ඒ සෙනසුරාදා හවස් යාමයයි . සතියේ වඩාත් රසැති කෑම වේල බිහිවෙන රාත්‍රියයි .

 

අහර පිළියෙල කිරීම වෙනුවෙන් ඇයට උදව්වක් දීමට මට වුවමනාය . එහෙත් කුස්සියට ඇතුළු නොවන්නැයි ඇගෙන් ලැබුණු තර්ජනයකි . තර්ජනය කර , සිනාසී , පහතට නැමී , දෙතොලට දෙතොල නොගෑවෙන්නට හාදුවක් දී , වුවමනාවට වඩා හයියෙන් පස්ස ගස්සා ගෙන ගොස් පුංචි කුස්සියට ඇතුළු වූවාය . දැන් මම සාලයේ කෙළවර පුටුවේ වාඩිගෙන ඇය දෙස බලා සිටිමි . මා තමන් දෙස බලා සිටින බව ඇය දනී. දැන සිටියද නොදන්නා සේ හැසිරෙයි . ගැහැනු කොහොමත් එහෙමය .

"බලා හිටියට කමක් නැහැ . මට කරදර කරන්න එන්න එපා . අද හුඟක් දේවල් තියනවා හදන්න .." ඇය කීවාය .

 

එහෙත් රසට උයන මගේ ගැහැනියව කුලප්පු කරන්නට , කරදර කරන්නට මට සිතේ . මගේ හිතේ පැළපදියම් වීගෙන එන කුලප්පුව , කරදරය , ඇල්ම , රාගය මුදා හළ හැක්කේ ඇය මත පමණි . මට සිටියේ ඇය පමණි .

 

සිතේ ඇතිවුණු රාග සිතුවිලි සුසුම් බවට හැරී ප්‍රාශ්වාස වායුවට එක් විය . විවර  කර ඇති කවුළුවෙන් ඇතුළු වුණු වසන්ත සුළඟ සමග එකතු වුණු ඒ සුසුම්  ඇය සොයා ගියේය . රාග සුසුම් වැදී කැළඹෙන ඇගේ දකුණු අතේ තිබුණු කුඩා පිහි තලය වම් අතේ සුළඟිල්ලේ සිනිදු සම අහිංසක ලෙස පසාරු කළේය . ඇය සුළඟිල්ල මුවට ඇතුල් කළාය . මම ඇයට ලංවීමි . සිදුරු වුණු සුළඟිල්ල ඇගේ මුවින් ගලවා ගෙන මගේ මුවේ හොවා ගතිමි . අනතුරුව සෙනෙහසේ රස බීජයෙන් පිරුණු ඇගේ රුධිරය උරන්නට පටන් ගතිමි . ඇය දෙනෙත් පියා ගත්තාය . ලේ තැවරුණු රතු පැහැති හාදුවක් ඇගේ කොපුලේ තබන්නට මට හැකි විය .

 

ඇය පිහිය පසෙක තැබුවාය . ලිපේ ගින්දර අඩු කළාය . සිරුරු ගිනි මැලයට පිදුරු එකතු කළාය . මගේ ගෙල වටා අත දමා කෙස් වැටියෙන් අල්ලා හිස පසුපසට ඇද මගේ දෙනෙත් වලට තරවටු කළාය .

 

සූප ශාස්ත්‍රයෙදී අලුත් අමුද්‍රව්‍ය , ක්‍රම වේද සොයා ගැනීම  , ඒවා එකතු කිරීමෙන් ලබා ගත හැකි ප්‍රතිපල සොයා යාම  , ලබා ගන්න ප්‍රතිපල රස විඳීම සහ එහි අත්දැකීම ලැබීම  යන මේ සියලු එකමුතුව හඳුනා ගැනීම Gastronomie  යනුවෙන් හඳුන්වනු ලබයි . එය ප්‍රංශ කාරයෝ සොයා ගත් සංකල්පයකි . ආහාර පිසීමේ කලාවක් නැහැ gastronomie යනු එහි ඉහළම තලයයි .

 

ඉවීම කලාවකි . ආදරය කිරීමද කලාවකි . සුන්දර ලෙස , සංයමයකින් සිරුරින් එකතු වීමද කලාවකි . ඒ සියලු කලා ඇය දැන් හඳුනයි .

මිනිස් දිවක රස අංකුර දස දහසක් ඇති බව කියවේ . ඒ රස අංකුර විසින් පැණි රස , ඇඹුල් රස , ලුණු රස , තිත්ත රස , උමාමි රස හඳුනා ගනු ලබයි . මගේ ගැහැනිය මේ සියලු රස මගේ මුවට ඇතුල් කළාය . එහෙත් ලොව හඳුනා නොගත් , මා පමණක් හඳුනා ගත් එක් අරුම රසයක් ඇගේ සිරුරේ ඇති බව මම දැන සිටියෙමි . ඒ ඇගේ ආත්මයේ මිහිරි රසයයි .

"කුස්සිය පැත්තෙන් දුමක් එනවා නේද ..?" අපේ ආදර රංගනය අතරතුර එක් මොහොතක ඇය ඇසුවාය .

"ඔයා මොනවා හරි ලිපේ තියලා එන්න ඇති . කර වෙලා ඇති .."

"ගිනි නිවන හමුදාවට කතා කරමුද ..?"

"එයාලට බැහැ අපේ ඇඟේ තියන ගින්න නිවන්න .."

"කමක් නැහැ කතා කරන්න . ඔයා අංකය දන්නවද ..? "

"ඔව් ."

"මොකක්ද..?

"69 .."

 

69 අංකයට ඇමතූ මුත් පිළිතුරු ලැබුණේ නැත . ලැබුණේ ඇවිලුණු ගින්න තව දිගු වෙලාවක් රඳවා තබා ගන්නට උපයෝගී කර ගත හැකි ...... කි .

 

 

මගේ ගැහැනිය මා වෙනුවෙන් පිළියෙල කරන බත් පතට "ආදරය " එකතු කරන අයුරු මම දකිමි . අපේ ගැහැනු තමන්ගේ මිනිසා වෙනුවෙන් පිසෙන කෑම රස ගන්වන්නේ අඩුම කුඩුම වලටත් වඩා ඔහුගේ කුසට රස අහරක් එකතු කිරීමේ පරමාර්ථයෙන් උපදින ආදරයද එකතු කිරීමෙනි .

"අද කෑම ටික හරිම රසයි මැණික ..Thank you " මම කියමි . ඇගේ මුහුණ ආලෝකමත් වනු මට පෙනේ .

 

"කතාවක් තියනවා සමහර ගෑනු සෙක්ස් වලින් ලබන සතුටට වඩා වැඩි සතුටක් මිනිහට කෑම හදලා දීලා ඒ කෑම මිනිහා රහයි කිව්වාම  ලබනවා කියලා . ඔයත් එහෙමද ..?"

"අනේ එහෙම පිස්සුවක් නම් මට නැහැ .." ඇය කීවාය .

රහට උයන්නට දන්නා ගැහැනිය බය නැති ගැහැනියකි . ඇයට තම සැමියා රැක ගැනීම පහසුය . නැන්දම්මලා ලේලියට වෛර කරන්නේ , තමාගේ කෑම වේලට වඩා වැඩි කැමැත්තක් තම පුතු බිරිඳගේ කෑම පතට දක්වන බව පසක් කර ගැනීමෙනි .

"ඔයා කටට රසට කනවද පුතේ ..? "  අම්මා දුරකතනයෙන් ඇසුවාය .

"ඔව් අම්මේ . සුමාලි සුපිරියට උයනවා "

"ඒ උනාට පුතේ ..කවුරු හරි පැරිස් එනකොට මොනවා හරි හදලා එවන්නද ..?"

"අනේ එපා අම්මේ ..කරදර වෙන්න එපා .."

"ඔයා සතුටින් නේද පුතේ..? "

"ඔව් අම්මේ හරිම සතුටින් ඉන්නේ . තව මාස තුන හතරකින් අපි ගෙවල් මාරු කරනවා .."

"ඒ මොකද සුමාලි ට කුස්සියේ  ඉඩ මදිලු ද ..?"

"නැහැ අම්මේ තව අලුත් එක්කෙනෙක් ළඟදීම එනවා .."

"කව්ද ඒ ..?"

"චූටි පුතෙක් හරි දුවෙක් හරි ..."

අම්මා හඬන්නට පටන් ගත්තාය .

හැම ගැහැනියකටම , හැම දෙයක්ම රසට උයන්නට නොහැකිය . ඇතැමුන්ට තේ කෝප්පයක් වත් සාදා ගන්නට නොහැකි බව මම අසා ඇත්තෙමි . එහෙත් "මොලේ ඇති " ඇති ගැහැනිය තම තම සැමියාව තේරුම් ගනියි . ඔහු ගේ රුචිකත්වය හඳුනා ගනියි . ඔහු ප්‍රිය කරන කෑම වර්ග දෙක තුනක් රසට හදන්නට ඉගෙන ගනියි . ජීවිතය රහ කර ගන්නට තරු දිනූ කෝකියෙකු විය යුතු නැති බවත් ව්‍යංජන දෙක තුනකින් සැමියාව මෙල්ල කර ගත හැකි බවත් මොලේ ඇති ගැහැනු දනිති .

 

මේ කිසිවක් නොදන්නා ගැහැනිය පවා ජීවිතය දරා ගෙන සිටියි . රසට උයන්නට නොදන්නා මුත් , සැමියාගේ කුස පුරවන්නට යම් අහරකින් පිගාන පුරවන්නට ඇය දනී . එවැනි මොහොතක මොලේ ඇති පිරිමියා කරන්නේ රස නැති වුවද , රස බව කියා කුසගිනි නිවා ගැනීමයි .

දන්නා තරමින් එවැනි පිරිමි ද අඩු නැත .

Nissanka Rajapaksa

unread,
Jun 26, 2025, 8:38:17 PMJun 26
to INDRAKA group
41
නංගිට සැමියෙක්

නේපාල ලේඛිකා ප්‍රේමා ෂා ගේ A Husband නමැති කෙටි කතාවේ සිංහල පරිවර්තනය උපුල් වික්‍රමනායක විසින් 


නිර්මලා සැමියාගේ වියෝව යන්තම් අකාමකා වෙන්නටත් කලින් ඇයට ගෙදර ඒමට සිදු වූයේ ඇගේ නැඟණියගේ විවාහ මංගල්ලයටය. ඇය සැණෙකින්ම ආවේ නැඟණියගේ මුහුණ හැඩ වැඩ කරන්නට එකතු වන්නටය. නිර්මලාගේ මුහුණ බැලූ බැල්මටම පාණ්ඩු පැහැයෙන් මෙන්ම බොහෝ වෙහෙසකර අයුරක් පෙනෙන්නට තිබුණත් ඇය මීට එක්වූයේ තරමක් උදාසීන අයුරිනි. මේ හැම දෙයක්ම බොහෝ අතාත්වික බවක් පෙනෙන්නට විය. ක්‍රීම්, පුයර, තොල් ආලේපන, මුහුණ රතු කරන සුවඳ ආලේපන, ඇස් පිහාටු ආලේපන තැබිය යුත්තේ ඇගේ කම්මුලේ ද? නැත්නම් නිකටේද? ඕහ්… කවුද මෙච්චර මේ අඩු දේවල් ඇඳගෙන සිටියේ. මොක වුණත් එය හරියටම වෙස් මුහුණක් පාට කරනවාක් මෙනි. නිර්මලාට එවැන්නක් කිරීමට නොසිතිණි. එය කෙනකුගේ ආලේපන උලන බොහෝ යල් පැනගිය එකකි. ඇයගේ නංගිගේ සොඳුරු මුහුණ අලුතෙන් ආලේප කර ලස්සන කිරීමට තරම් වුවමනාවක් ඇතිද?

නිර්මලා බොහෝ ආයාසයෙන් උත්සාහ ගනිමින් උන්නේ ඇගේ යටගියාවේ තවමත් ඇදුම්කමින් තිබෙන අමිහිරියාව යටපත් කිරීමටය. එහෙත් කොහෙන් හෝ ඇයගේත් ඇයගේ සොයුරියගේත් සිතෙන් නැඟෙන සිතිවිලි සමුදාය විශාල කණ්ණාඩියෙන් පෙන්නුම් කරන්නට විය. මේ කණ්ණාඩිය මෙතැනට කාන්දුවීයේ මෙයිට අවුරුදු දෙකකට පමණ කලිනි. ඒ නිර්මලා මෙම නිවෙසින් නික්ම යෑමෙන් පසුවය. එය තවමත් නොඉඳුල් නොකිලිටි වුවත් ඇගේ හැඟීම් වෙනස් වී ඇත. මුළුමනින්ම දරුණු ලෙස වෙනස් වී ඇත.

ඇයගේ ඇහිපිහාටු ආලේපය සහිත පින්සල නැඟණියගේ දෑස මත්තෙහි ඔබ මොබ දඟලන්නට වූ අතර ඇගේ හදවතේ තවදුරටත් ජීවන ආශාවක් නොවිණි.

සියල්ල සිදුකර අවසානයේ ඇය කණ්ණාඩියෙන් ඇගේ නැඟණියගේ මුහුණ බැලුවාය. ඇයට ඇගේ මුහුණ ගැන පුදුමාකාර හැඟීමක් දැනිණි. නිර්මලා ඇය ආලෝකවත් කළත් ඇයගේ මුහුණ අල්ලා සිප ගන්නට තරම් හැඟීමක් දැනෙන්නට විය. එහෙත් ඇය එසේ කරන්නට නොගියාය. ඇයට විශාල ලැජ්ජාවක් මෙන්ම විශාල සාඩම්බරයක් ද දැනෙන්නට විය. ඇය කොහෙත්ම සුන්දරය. දැන් පවා ඇය, ඇයගේ නැඟණියට වඩා සුන්දරය. “නිර්මලා කොහොමටත් උර්මිලාට වඩා ඇහැට කනට පේන එකී.” හැමෝම කියන්නේ ඒ අයුරින් වුවත් ඇය සිතන්නේ ඇගේ නැඟණිය ඉදිරියේ ඇගේ ලස්සන දියවී යන බවයි. ඇය ඇත්තටම අලංකාර අයුරින් විචිත්‍ර කර තිබුණත් ඇගේ දක්ෂතාව ගැන ඇය වැඩි පහන් බවක් දක්නට නොවිණි. ඇත්තෙන්ම තමන්ට මෙම පෙනුම උරුම කර ගන්නට හැකිනම් යැයි යන සිතුවිල්ලත් සමග ඇයට දැනුණේ ඊර්ෂ්‍යාවකි.

අල්ලපු කාමරයේ උන්නේ උර්මිලා බලන්නට ආ තරුණයාය. බිරාත් නගර්වලින් ආ ඔහු ලොකු අයියාගේ අලුත්ම යාළුවාය. ඔහු මහාචාර්යවරයකු ද නැති ද කියා නිර්මලා සිටින්නේ දැඩි අඩමානයකය. අක්ක – නඟෝ දෙන්නාටම ඔවුන් හීන් සීරුවේම කරන කතා බහ අසා ගන්නට හැකිය. නිර්මලා ඇස පුංචි කරමින් තියුණුව කන යොමු කරමින් සිටිද්දී උර්මිලා යන්තමින් සිනා සෙමින් සිටිනු ඇය කණ්ණාඩියෙන් දුටුවාය. ඇයගේ රෝස පැහැති ලැජ්ජාශීලි මුහුණ ඇය තව තවත් සුන්දර කරනු ඇය දුටුවාය. ඇයගේ අයියා මොකක්දෝ දෙයකට මහ හඬින් සිනාසෙද්දී මෙන්ම ඒ ඇරුණු විට තවත් කවුරුන් හෝ සිනාසෙනු ඇසිණි. ඒ මුදු සිහින් හඬිනි. නිර්මලා කලබල වූවාක් වැනිය.

එසේ වුවත් උර්මිලා හැරී ඇය දෙස බලා සිනාසුණාය. ඇයට ඇගේ අක්කාගේ ලස්සන ගැන හැඟීමක් විය. මේ හැම දෙයක්ම ඇය තුළ තැන්පත් විය. උර්මිලා තවමත් කණ්ණාඩිය දෙස බලා සිටිද්දී නිර්මලා හිටි අඩියේම ඇගේ කොණ්ඩයේ ගසාගෙන තිබුණු මලක් ගලවා ඉරා දමන්නට වූවාය. උර්මිලා මෙයින් අන්ද මන්ද වූවාක් මෙනි.

“මොකක්ද අක්කා ඒ කළේ…?”

නිර්මලාගේ පැහැපත් සිහින් මුහුණට දහදිය ගලන්නට විය. ඇය උර්මිලා දෙස හොඳින් බලා උන්නේ කිසිම හැඟීමකින් තොරවය. ඇය නැඟණියගේ ඇසේ අලවා තිබුණ ගැටිත්ත ගලවා දැමුවාය. උර්මිලා මේ සමගම බොහෝ තැති ගත්තාය. ඇය සිය අක්කාගෙන් ගැලවීමට කාමරයට දුවගෙන ගියාය. නිර්මලා ඇය කාමරයෙන් පිටතට දුවගෙන යන අයුරු බලමින් විනෝද වූවාය. ඇය කාමරයේ තනිවම සිනහසෙන්නට වූවාය. ඇය, සිනාසෙනවාත් එක්කම අඬන්නට ද පටන් ගත්තීය. හදවත ඇකිළෙන්නාක් මෙන් දැනිණි. ඇය හිස දණ හිස අතර ඔබාගෙන හීන් සීරුවේ හුස්ම හෙළන්නට පටන් ගත්තීය. ඇය හෙමින් කිවිසන්නට වූවාය. ඇගේ උගුර වියැළෙන්නාක් මෙන් දැනෙන්නට වූයේ පිපාසයටද? නැත…. ඇයට කිසිදු පිපාසයක් නොවිණි. එහෙත් ඇය මේසය මත්තෙහි වූ වීදුරුව අතට ගෙන වතුර ඇබින්දක් උගුරට හලා ගත්තීය. ඇගේ දෑස කඳුළෙන් පෙඟී දෑසම වැසී ගොස් තිබිණි. ඒත් එක්කම කවුරුන් හෝ කෙනකු දොර රෙද්ද මෑත් කර තමන් දෙස එබී බලා සිටිනා අයුරක් දැනෙන්නට විය. අසුරු සැණින් ඇය ඒ පැත්තට හැරුණාය. ඒ උර්මිලාය. ඇය සැණිකින් ආපසු දුවගෙනවිත් නිර්මලා දෙස බලා උන්නාය. සැණකින් දොර තිරය පහත් කරන්නට විය.

“ඔයා ඔතැන ඔත්තු බලනවද..?” නිර්මලා තරමක කෝපයෙන් කීවාය. “ඔයා ඇතුළට ආවොත් මම මොනවා කරයි කියල ද ඔයා හිතන්නේ… මම ඔයාගේ කොණ්ඩෙ ගලවා ගන්නේ නෑ… ඔයාගේ කසාදෙ ස්ථීර කර ගත්තට පස්සේ ඔයා ගොඩක් අඩම්බර වෙලා.. ඔයා හිතනවද මම ඔයාගේ සහකාර බිරිඳ වෙන්න ආවා කියලා… ඔයා ඔත්තු බලන්නේ ඒක හිතේ තියාගෙනද?”

අල්ලපු කාමරයෙන් එන සිනා හඬ පැහැදිලිව ඇසෙන්නට විය. ඇය ඊට කන් දීගෙන සිටියාය. ඒ සිනහව මහාචාර්යවරයාගේය. ඔහුගේ හඬ කෙතරම් ප්‍රසන්නදැයි ඇයට සිතිණි. ඔහු ඇතැම් විටෙක කාරුණික හොඳ අයකු විය හැකිය. ඇත්තෙන්ම නිරහංකාර සාධාරණ මිනිසකු විය හැකිය. උසේ හැටියට ඇඟපත ද ගැළපෙයි.

“නිර්මලා… ළමයෝ… අපට අර කාමරේ යතුර ඕනෑ..” ගෝදාවරී කීවේ දොරෙන් ඇතුළට එන්නට නොහැකිවය. එහෙත් නිර්මලා කරන්නේ කුමක්දැයි ඇය දුටුවාය.

“අනේ අම්මේ.. නිර්මලා දරුවා ඔයා මෙතැන මොනවද කරන්නේ…?”

නිර්මලා තරමක් අහකට පැන්නාය. තොල දිගේ ගලාගෙන ආ තොල් සායම් ඇගේ අතට වැටුණේය. කාමරයේ කණ්ණාඩියෙන් ගෝදාවරී කාමරයේ දොර ළඟ සිට තමන් දෙස බලා සිටිනු ඇය දුටුවා පමණක් නොව, තමන් සමනලයකු මෙන් පෙනෙනු දුටුවාය. ඇයට කම්පනයක් දැනිණි. මේ වගේ තමන් හදා ගත් ඇය, මේ මොහොතේ කුමක් සිතන්නේ කුමක්දැයි ඇයට සිතා ගැනීමටවත් නොහැකිව තිබිණි. ඇය ගෝදාවරීගේ නෙත් දෙස කණ්ණාඩියෙන් හොඳින්ම බලා සිටියාය.

“මට තේරෙනවා නිර්මලා… දරුවෝ බලන්න ඉතින් ඔයත් ඔයාම රවට්ට ගන්නවා නේද..? මේ බලන්න ඔයත් ටීකා ඇඳුමක් දාගෙන මතක තියාගන්න ඔයා සැමියා නැති කාන්තාවක්…” ඔව්… ඔව්… ඇත්ත වශයෙන්ම ඇය වැන්දඹුවකි. ඇගේ සැමියා මීට වසරකට පමණ පෙරාතුව මියගියේ ගුවන් අනතුරකිනි. ඇය සිටි කාමරයට අල්ලපු කාමරයේ සිටියේ උර්මිලාගේ අනාගත සැමියාය. ඔහු පැමිණ සිටියේ උර්මිලා බැලීමටය. නිර්මලා වීදුරුවේ ඉතිරිව තිබුණු වතුර වත් කර ඉක්මනින්ම ඇගේ මුහුණේ උලා තිබුණු පාට පිස දැමුවාය. ගෝදාවරී යතුර රැගෙන යෑමට උත්සාහ කළාය. එහෙත් නිර්මලාගෙන් ඊට ඉඩක් නොලැබිණි.

“ගෝදාවරී .. මේ ගැන කාටවත් එහෙම කියන්න එපා… මේක මට කරන ලොකු උදව්වක් තේරුණාද..?”

“මං ඔයාගේ පෞද්ගලික දේවල් අනුන් එක්ක මොනවට කතා කරනවද…?” ගෝදාවරී සිනාසෙමින් එළියට ගියාය.

නිර්මලාට තමන් ගැනම දැඩි ලැජ්ජාවක් ඇතිවූවාය. ඒ ඇයගේ රහස ගෝදාවරීගෙන් සැඟවීමට නොහැකි වීම නිසාය. දැන් මේ ගැන ගෝදාවරී හැම දෙනාටම කියයිද? ඇය මේ මුළු සිද්ධියම එක දෙක කර අවුළුවනු ඇත.

නිර්මලාගේ මුහුණ රත් පැහැයට හැරිණි. ඇය තම අත් ලේන්සුවෙන් මුහුණේ ඉතිරිව තිබුණු පාට කුඩු සහ පුයර මිශ්‍රණය පිස දැමුවාය.

“අම්මා හරි අයියා හරි මාව මෙහෙම හැඩ කරලා ඉන්නවා දැක්ක නම්… නැත්නම් උර්මිලා…” මේ මොහොතේ ගෝදාවරී යළිත් කාමරයට ආවාය. “නිර්මලා දරුවෝ ඔයාගේ අම්මා කියනවා… ඔයාට ඇවිල්ලා නංගිගේ ඇඳුම් අස් පස් කරලා දාන්න උදව් කරන්න කියලා..”

“මං එන්නම්… ඔයා යන්න…”

“එහෙනම් ඉක්මනට එන්න හොඳේ….” ගෝදාවරී ආපසු යන්නට හැරුණත් නිර්මලා උන් තැනින් සෙලවීමක්වත් නොකළාය.” මම ගිහින් එයාට ඇඳුම් හරි ගස්සන්න උදව් කරන්න ඕනෑද..? එයාට දැන් සැමියෙක් ලැබෙන්න ඉන්නවා.. ඒත් එයා තවම දරුවෙක්…”

ඇගේ මව උමාරියා නිර්මලා සිටි කාමරයට එක්ක ගෙන ආවාය. “ඇයි ඔයා තවම මෙතැන…? මම කතා කළේ අර අසරණ උර්මිලාට ඇඳුම් අන්දවන්න උදව් කරන්න කියලයි.. එයා මේ ඇඳුමක් කවදාකවත් ඇඳලා නෑ… එයා ඒක අර පරණ තාලෙටම ඔතාගෙන ගියා… දැන්වත් එයා දිහා බලන්න…”

නිර්මලා ඇගේ සහෝදරිය දෙස ඉහළ සිට පහළට තදින්ම බැල්මක් හෙළුවාය. ඇගේ සාරිය ඇයට කදිමට ගැළපී තිබිණි.

“එහෙනම් එයා තවම පොඩි ළමයෙක්ද..? එයා බලන්න මනාලයකුත් ඇවිත්… ඔයා දන්නවද…?” උර්මිලා කොළ පැහැයෙන් ලස්සනට හැඩ වැඩවී පෙනුණි. එහි කිසිම සැකයක් නොවිණි. මනාලයා ඇයට නිසැකයෙන්ම මනාපය පළ කරනු ඇත.

“එහෙනම් නිර්මලා එන්න.. ඔයා දැන් උර්මිලාව එයා ළඟට එක්කගෙන යන්න ඕනෑ…” 

“නෑ අම්මේ… මම යන්නේ නෑ… ඔයා කොහොමත් එයා එක්කගෙන යනවනේ….”

නිර්මලාගේ මව කෝපයෙන් බැලුවාය. “මට ඉන්න දුවලා මොනතරම් මුරණ්ඩු ද මන්දා. කරන්න වැඩ තියෙද්දීත් මට කිසි උදව්වක් නෑ…”

“තදේටම මගේ ඔළුව කකියනවා. නැත්නම් මම එනවා… ඒත් මට ඔළුව උස්සන්නවත් බෑ…”

 “හරි එහෙනම් එන්න උර්මිලා… ” අම්මා කාමරයෙන් වේගයෙන් එළියට නික්ම ආවාය. එහෙත් උර්මිලා අම්මාගේ ඉල්ලීම කොහෙත්ම ගනන් නොගත්තීය. “අනේ අක්කත් එන්නකෝ…” 

“එයා ආවේ මං බලන්න නෙමෙයිනේ… ඔයාව බලන්නනේ. ඉතින් මාව එක්ක යන්නේ මොන එහෙකටද..?”

“මට තනියම එතැන ඉන්න ලැජ්ජයි.. මම කොහොමද තනියම එතැන ඉන්නේ…” උර්මලාගේ දෑසින් කඳුළු හැලෙන්නට ඔන්න මෙන්න ආසන්නව තිබිණි.

“ඇයි ඔයාට ලැජ්ජා හිතෙන්නේ…? එයා කවද හරි දවසක ඔයාගේ මනුස්සයා වෙයි… ඔයා බැන්දට පස්සේ මෙහෙම හැසිරුණෙත් ඔයා කොහොම කරයිද…?” නිර්මලා සිනහ සෙන්නට උත්සාහ කළාය. එහෙත් උර්මිලා එය බැරෑරුම් ලෙසින් සිතුවාය.

ඇගේ අයියා කාමරයට ආවේ නැඟණිය කැඳවාගෙන යෑමටය. මේ මොහොත නිර්මලාගේ හදවතට තදින්ම කාවැදුණේ තමන් වරදක් කළාක් මෙන් හැඟීමෙනි. ඇය ඔවුන් පසු පසින් ඇවිද ගෙන ගියාය. නිර්මලා හැර සියලු දෙනාම අනෙක් කාමරයට ඇතුළු වූහ. නිර්මලා දොරෙන් පිටතට වී දොරරෙද්ද අල්ලා ගෙන සිටියාය.

කාමරයට ඇතුළු වූ සැණින්ම වාගේ ඇගේ අයියා උර්මිලා හඳුන්වා දුන්නේය.

“මේ උර්මිලා… මගේ බාලම නංගී… එයා මේ අවුරුද්දේ මැටි්‍රකියුලේෂන් විභාගෙන් පාස්වුණා…” එයින් පසු ඔහු දොර පැත්තට හැරුණේය. “මේ අපේ මද්දුමයා… මගේ දෙවැනි නංගී… එහෙම නේද…? එන්න නංගී නිර්මලා ඇතුළට…”

ආගන්තුකයාට එය ඇසුණත් ඔහු එය ගනනකටවත් නොගත්තාක් මෙනි. ඔහු නිර්මලා දෙස එකදු බැල්මක්වත් නොහෙළුවේය. ඔහු නියම මහත්මයකු මෙන් පෙනුණි. ඔහුගේ බැල්ම උර්මිලාගේ කොළ පාට සාරිය දෙසට යොමු වී තිබිණි. නිර්මලාට තවදුරටත් එතැන නැවතත් රැඳී සිටීමට සිතක් නොවිණි. එබැවින් ඇය බැල්කනියට ගියාය. පිටත හිරු රශ්මිය තරමක් දරුණු අයුරක් විය. පාර දෙපස දූවිල්ල හමායන අයුරුත් නිවෙස පසු කර එකින් එක ගමන් කරන බිහිසුණු ට්‍රක් රථවල කන් බිහිරි කරවන ඝෝෂාවත් ඇය තවත් අවුලෙන් අවුලට පත් කරවන්නක් විය. ගේට්ටුවෙන් පිටත අලුත් ජීප්රියක් නවතා තිබිණි. සමහරවිට එය උර්මිලාගේ මනාලයාගේ විය හැකිය. අපිරිසිදු සුදු කමිසයක් සහ අඳුරු කණ්ණාඩියක් පැලඳ සිටි මිනිසෙක් සුක්කානම වැලඳගෙන වාඩිවීසිටියේ ය. ඔහු උර්මලාගේ මනාලයාගේ රියැදුරු වන්නට ඇතැයි ඇය අනුමාන කළාය. නිර්මලා දුටු විට ඔහු විසිල් ගසන්නට පටන් ගත්තේය. ඇයට මෙය වධයක් මෙන්ම නොරිස්සීයෙන් ඇය නැවත වතාවක් ඇයගේ කාමරයට ගියාය. ඒ යද්දී උර්මිලා බැලීමට ආ මිනිසා තනිවම පුවත්පතක් කියවමින් සිටිනු දුටුවාය. ඇයට තිගැස්මක් ඇතිවූවාය. මෙය ඔහුගේ කාමරය නොවිණි. එය අයියාගේ කාමරයයි. ඔහු එතැනට ආවේ කෙසේදැයි ඇය නොදනී. එහෙත් ඇයට එතැනින් එළියට යෑමට අසීරුය. එය එසේ කළොත් ඔහු කුමක් සිතනු ඇත්ද? ඇය කිසිවක් නොකර එතැනම සිටියා නම් ඔහු කුමක් කියයිද? ඇයට දැඩි අපහසුතාවක් දැනුණි. මිනිසා එක් වතාවක් පමණක් පුවත්පතෙන් ඇස ඉවතට ගෙන ඉහළ බැලුවේය. ඒත් එක්කම ඔහු යළිත් පුවත්පත කියැවීමට පටන් ගත්තේය. නිර්මලා එතැනින් නික්ම යෑමට උත්සාහ කළත් ඇයට අඩියත්වත් පය ඔසවාගත නොහැකිවූවාය. ඔහු වචනයක්වත් කතා නොකළේය. ඔහු ඇයට වාඩි වන ලෙසට ඉල්ලීමක්වත් නොකළේය. ඔහු පත්තරයට ඇලී ගැලී සිටියාක් මෙනි. ඔහුගේ කොණ්ඩය අපිරිසුදුව තිබිණි. එසේ වුවත් ඔහුගෙන් කෝල්ගේට් සුවඳක් පැතිර යන්නට විය. නිර්මලා කඩදාසිය දෙසට නැවෙද්දී ඔහුගේ වටකුරු මුහුණ පෙනුණි. ඇයට වටපිටාව අමතක වී ගියාක් මෙනි.

“වාඩිවෙන්න ඕනෑ නේද…? ඔයා මෙච්චර වෙලාඉඳන් හිටගෙන නේද…?” අවසානයේදී ඔහු ඇය දෙස බලා සිනහ සුණේය.

ඇය වාඩි නොවූවාය. එහෙත් ඇයගේ සිරුර වෙව්ලුම්කන්නාක් මෙන් දැනෙන්නට විය. ඇය තමන්ට සමීප වන තුරුම ඔහු තමන්ගේ අසුන මාරු කළේය.

“විනාඩියකට ඉඳගන්න…” ඔහු ඇයගේ වේල් පටේ කෙළවර මෘදු ලෙස ඇදගත්තේය. එහෙත් ඇය ඊට කිසිම විරෝධයක් නොදැක්වූවාය. මොහොතකට පසු ඔහු ඇගේ දෑතින්ම අල්ලාගෙන ළඟින් වාඩි කර ගත්තාය. ඇය එහි වාඩි වූයේ කිසිම කලකිරීමකින් ද චකිතයකින් ද තොරවය. ඔහුගේ ස්පර්ශයේ උණුසුම ඇයට සියුම් උත්තේජනයක් ලබා දුන්නේය. සැනසීමක් ද කිසියම් ප්‍රබෝදවත් බවක් ද ගෙන ආවේය. ඇය ඇගේ කැබැලි වී කුඩුපට්ටම් වුණු සිහින නැවතත් එකතු කිරීමට පටන් ගත්තාය. මලින් පිරුණු උයන්… මලින් වැසුණු අහස… දෙපස මලින් වැසුණු මාවත්…. ඉන් පසු ඇගේ වම් කනේ කම්මුල පැත්තෙන් තියුණු වේදනාවක් දැනෙන්නට විය. ඒත් එක්කම ඇගේ දිගු සිහිනය නැවතත් බිඳවැටෙන්නට විය. ඇගේ මුහුණට අත තැබූ විට එය උණුසුම්ව රත් පැහැයට හැරී ඇති බව ඇයට දැනුණි. ඇය හැකි ඉක්මනින් නැඟිටින්නට උත්සාහ කළාය. මේ නිසාම ඇයට කරකැවිල්ලක් දැනුණාක් මෙනි. ඒ සමගම ආගන්තුකයා අකාරුණික ලෙස සිනාසුණේය. ඇය කිසිදු හැඟීමකින් තොරව කිසිදු විශ්වාසයක් නැතිව ඔහු දෙස බැලුවාය. එහෙත් ඔහු කිසිම දෙයක් ගනනකට නොගෙන නැඟීසිටියාය. ඉන්පසු ඔහු වචනයක්වත් නොදොඩා වීදිය පෙනෙන ජනෙල් කවුළුව ළඟට ගියේය.

ඔහු කිසිම විශ්වාසයක් නැති අමනයකු බව පවසා ඔහුගේ මුහුණට පහරක් දිය යුතු යැයි ඇය සිතුවාය. එහෙත් ඇයගේ අත ඉස්සෙන බවක් පෙනෙන්නට නොවිණි. ඔහු ඇයගේ කවුද? උර්මිලාගේ අනාගත සහකරුයි. ඇගේ සර්වාංගයම වෙව්ලන්නාක් මෙන් දැනුණි. ඒත් එක්කම ඇය කාමරයෙන් එළියට පැන ගියාය. ඇයට උර්මිලා හමුවීයේ කොරිඩෝවේදීය.

“මොකද අක්කා වුණේ…? මොකක්ද ඔයාගේ මූණට වෙලා තියෙන්නේ…? නිර්මලාගේ රතු වී තිබුණු ඇස් සහිත මුහුණ දුටු සැණින් ඇය ඇසුවාය. උර්මිලා බියට පත් වූවාය. “මොකද වුණේ කියල කියන්නකෝ…?”

නිර්මලා ඇය බිත්තිය දෙසට තල්ලු කළාය. “ඔයාගේ මනුස්සයා තනියමනේ… යන්නකෝ ගිහින් බලන්නකෝ…”

ශාලාව හරහා ඇවිදගෙන යද්දී නිර්මලා වතුර ගෙන යන රාමේගේ ඇඟේ හැප්පුණේය. රාමේට එය නොසිතූ අවස්ථාවක් ලැබුණාක් මෙනි. ඔහු සිනාසෙමින් ඔහුගේ කමිසයේ ඇතුළත සාක්කුවේ තිබී නැමුණු කඩදාසි කැබැල්ලක් එළියට ගත්තේය. ඇය පසුවනවාත් එක්කම ඔහු එය ඇගේ අත තැබීය.

“අල්ලපු ගෙදර මහත්තයා මේක හොරෙන් ඔයාට දෙන්න කිව්වා…” ඔහු ඇයට කීවේ කොඳුරන්නාක් මෙන් රහසෙනි.

ඇගේ කාමරයට පැමිණි ඇය දොර තදින් වසා ගත්තීය. ඇගේ ආත්මය දහවල් කාලයේ රස්නයට ඔබ මොබ යන උණ ගසක් මෙන් ඝෝෂා කරමින් පැද්දෙමින් තිබිණි. ඇගේ උරහිස මත තිබුණු සළුවේ සර්පයකු එල්ලී සිටින්නාක් මෙන් දැනුණි. ඇය ඉක්මනින්ම ඇඳුම ගලවා ඇඳමත්තේ පෙරළුණාය. එහෙත් කුමක් දෝ කිව නොහැකි දැඩි අපහසුතාවකින් පෙළෙන්නාක් මෙන් ඇයට දැනුණි. ඇය කීපවතාවක්ම තමන්ගේ මුහුණට අතුල් පහර කීපයක් ගසා ගත්තීය. එහෙත් ඇගේ මනසට ඉන් කිසිම සහනයක් නොලැබෙන්නාක් මෙනි. ඇගේ හදවත කුණාටුවකට හසුව ඇරී තිබුණු ජනෙල් කවුළුවෙන් පිටතට විසිවී ගියාක් මෙනි. ඇය ඇගේ පපුව අල්ලාගෙන සිටියත් ඇගේ දුක්ඛිත තත්ත්වය ඇය තව තවත් සලිත කරන්නට සමත් වී තිබිණි. ජීප් රියැදුරු ඇයට විසිල් ගසන බව… ඇය පසු කරගෙන යද්දී රාමේ සියතෙහි තැබූ අසල්වැසි පාහරයාගෙන් ලැබුණු ලිපිය… නිර්මලාට අමතකව ගොස් ඇති අයුරු…

ඇය තම මේසය මත තිබූ බෝතලයෙන් නිදි පෙති දෙකක් ගෙන ඒවා ගිල දැමුවාය. ඉන් පසු ඇය තම හිස කොට්ටය මත තබාගෙන ඇයගේ සිත තුළ සැඟවී තිබූ හැඬුම් පිට කළාය.


https://www.divaina.lk/features/10675?fbclid=IwY2xjawK_cW9leHRuA2FlbQIxMQABHoBvTLyRIWu1P7Orinpa1-A7nkeohVXBLtZ2Q9Va2wMHWkgz4j9kL8lnv_ug_aem_1_3HREfINLccQRc0_E3bwg



Nissanka Rajapaksa

unread,
Jun 28, 2025, 9:47:08 PMJun 28
to INDRAKA group
42
කිරි කෑ සැටි

- මාර්ටින් වික්‍රමසිංහ 

  1936 මැයි මස දහවැනි ඉරිදා "සිළුමිණ" පත්‍රයේ පලවී පසුව පව්කාරයාට ගල් ගැසීම කෙටිකතා සංග්‍රහයට ඇතුළත් කෙරුණි. 

Nissanka Rajapaksa

unread,
Jul 1, 2025, 7:22:09 AMJul 1
to INDRAKA group
43
දිනයේ වර්ණය

ඉංදියානු ලේඛක මහාචාර්ය අංකුරන් දත්ත 

උපුල් රංජිත් හේවා­වි­තා­න­ග­මගේ

චි ත්‍ර ප්‍රදර්ශනයට සම්බන්ධ වී සිටින පිරිමි ළමයා එක් චිත්‍රයක් ලබා ගැනීම සඳහා කොතරම් වේලාවක් බලා සිටින්නේද! චිත්‍රාගාරයේ එක් කෙළවරක පිරිමි ළමයා සිටින අතර, විශාල කැන්වසයක් ඉදිරියේ රුවන් සිටී. දෙදෙනාම සිටින්නේ හිඳගෙනය. පිරිමි ළමයා වරක් දෙවරක් තරමක් පැකිළෙමින් විමසුවේය.


“අයියා… චිත්‍රෙ ඇඳල ඉවරද? ඔයත් ඕක ඉස්සරහට වෙලා වාඩි වෙලා ඉන්නවා, මාත් ඕක ගෙනියන්න ඇවිත් බලාගෙන ඉන්නවා. කියුරේටර් දිගින් දිගටම කෝල් කරනවා. චිත්‍ර ප්‍රදර්ශනේ පටන් ගන්න වැඩි වෙලාවක් ඉතුරු වෙලා නෑ.”

නැවතත් පැමිණිලි කරන ස්වරයකින් ඔහුගේ හඬ ඇසෙන්නට විය:

“අයියෙ… දවස් ගණනක ඉඳං මේ විදියමයි. චිත්‍රෙ නං ඇඳල ඉවරනෙ. මාව මෙතන වාඩි කරල තියාගෙන ඉන්නෙ ඇයි? මං ඕක ගෙනියන්නද?”

“මගේ චිත්‍රෙ නැතුව චිත්‍ර ප්‍රදර්ශනේ තියන්න යනව නං එහෙම කරන්නකො. මං අන්තිම ඉරත් අඳිනකං මේ චිත්‍රෙ දෙන්නෙ නෑ,” රුවන් කිවුවේ තර්ජනාත්මක ස්වරයකිනි.

දෙදෙනාම නැවත හිඳගෙන සිටිති. පැයකට පමණ පසු රුවන්ගේ චිත්‍රාගාරයේ වැඩ කරන කොලුවා උණු කිරි සහිත ‘සිලෝන් ටී’ තේ කෝප්ප දෙකක් ගෙනැවිත් දෙයි. ප්‍රදර්ශනයෙන් පැමිණි පිරිමි ළමයා තේ කෝප්පය අතට ගෙන, වැඩ කරන කොලුවා දෙස බලයි.

ඔහුගෙන් කිසිදු පිළිතුරක් නොලද පිරිමි ළමයා රුවන්ට ඇසෙන්න හඬ නඟා කතා කරයි:

“හුඟාක් පරක්කු වුණා. බඩගින්නකුත් තියෙනව. බිස්කට් තියෙනවද තේ එකත් එක්ක?”

වැඩකාර කොලුවා පරණ බිස්කට් පෙට්ටියක් ගෙනැවිත් ඔහු ඉදිරියේ තබයි. ඒ පෙට්ටිය දුටු පිරිමි ළමයා තේ එක පමණක් බීම හොඳයැයි තේරුම් ගෙන ස්තුති කරයි; නැවත අඳින චිත්‍රය දෙස බලා සිටී.

උදෑසන ගෙවී ගොස්, සවස් කාලය එළඹෙයි. රුවන් ඇසිපිය නොහෙළා අඩි අටයි හය ප්‍රමාණයේ විශාල කැන්වසය ඉදිරියේ හිඳගෙන සිටී. පිරිසුදු කැන්වසය මත ඇක්රිලික් තීන්තවලින් අඳිනු ලැබූ චිත්‍රය. බෙලෙක් පුටුවක් මත සමාධියකට සම වැදී සිටින රුවන්. ඒ විශාල චිත්‍රාගාරයෙහි එක් කොනක හිඳගෙන සිටින පිරිමි ළමයා. ඔහුගේ බැල්ම රුවන් වෙත යොමු වී තිබේ. පිටත බල්ලන්ගේ බිරීම් හඬ හැරුණු විට වෙනත් කිසිදු ගෝසාවක් නෑසෙයි. පෙර අත්දැකීම් මෙන්ම ප්‍රදර්ශනයේ භාරකාර මහාචාර්ය රවීන්ද්‍ර ද මේ තත්ත්වය පිළිබඳ ඔහුට කියා දී මෙහි එවනු ලැබ ඇත. ඒ නිසාම පිරිමි ළමයාට එහි යන විට වතුර බෝතලයක්ද රැගෙන යන්නැයි උපදෙස් ලබා දුන්නේය. ප්‍රදර්ශනයේ වටිනාම චිත්‍රය රුවන්ගේ චිත්‍රය බව මහාචාර්ය රවීන්ද්‍ර දැන සිටී. අන්තර්ජාතික වෙළෙඳපොළෙහි ඔහු විසින් අඳින ලද එක් රේඛාවකට ද ඉතා ඉහළ වටිනාකමක් ලැබේ. මේ චිත්‍රය නම් ඉතා දීර්ඝ කාලයක පටන් ඇති වූ සිතිවිල්ලක ප්‍රතිඵලයකි.

හදිසියේම නිහඬතාව බිඳදමමින් රුවන්ගේ මුවින් හඬක් නැඟිණි. එය ‘චිත්‍රෙ වැඩේ ඉවරයක් කරල දෙන්නං’ යන්න නොවේ. පිරිමි ළමයා දෙස බැලුවේය; චිත්‍රය දෙස නොබලාම ඔහු කතා කරන්නට පටන් ගත්තේය:

“වර්ණ අපේ ජීවිතවලට කොච්චර බලපෑම් කරනවද කිවුවොත්, උදේ ඉඳං රෑ වෙනකං අපේ ඇස්වලින් දැකපුවා, හිතට දැනිච්ච ඔක්කොම සිදුවීම් වර්ණවලින් සංකේතවත් කරනවා. ඒ එක්කම හැම දේකම වර්ණවල බලපෑම පේන්න තියෙනවා. මේ මහා සාගරේ නිල් පාටින් පටන් අරගෙන රෑට අහස දිලෙන තරු තාරකා වෙනකං හැම දේකම තියෙන වර්ණ අපිව ආකර්ෂණය කරනවා. ඒ එක්කම ජීවිතේ ඔක්කොම රහස්, අත්දැකීම් ප්‍රතිඵලදායක කරන්නට පුළුවං නොයෙක් විදියේ සිතිවිලි මතු කරනවා.”

පිරිමි ළමයා ඇහිපිය නොහෙළා රුවන් දෙස බලාගෙන සිටියේය. උත්තරයක් දිය යුතුද? කිසිවක් නොතේරීත් ඔහු රුවන් දෙස බලාගත්වනම සිටියේය.

රුවන් නැවත කතා කරන්න පටන් ගත්තේය:

“දන්නවද, සංස්කෘතිය කියන එකටත් වර්ණයක් තියෙනවා. භාෂාවකටත් වර්ණයක් තියෙනව, කතාබහකටත් වර්ණයක් තියෙනවා. ඉතිහාසයටත් වර්ණයක් තියෙනවා, සබඳතාවලටත් වර්ණයක් තියෙනවා. මතිමතාන්තරවලටත් වර්ණ තියෙනව. අයිඩියාවලටත් වර්ණ තියෙනව. හැම මිනිහෙක්ගෙම හැම අත්දැකීමකටම, හැම ආවේශයකටම තමන්ගෙ වර්ණ තියෙනවා. පේන දේවල්වලට, මානසික තත්ත්වවලට මේ හැම දේකටම වර්ණ තියෙනවා. දවස කියන එකට වර්ණයක් තියෙනවා, ඒ එක්කම වර්ණවලත් දවස් තියෙනවා. ඒ මේ හැම වර්ණයක්ම අන්තිමේදි කොහොමද ආවේශ, අත්දැකීම් දිදුලවන්නෙ?”

පිරිමි ළමයාගේ ඇස් ඉදිරිපිටින් හරියටම එක්තරා අදෘශ්‍යමාන වර්ණ කිහිපයක් පාවී ගොස් කැන්වසය මත ඇතිරී ගියා සේය. ඔහු සිය දෙනෙත් පියාගනිමින් දකින්නට උත්සාහ කළේ කැන්වසයට බොහෝ දුරින් හිඳගෙන සිටියත් ඔහු නව වර්ණ එයට එක් කළේ කෙසේද යන්නයි. නැත, රුවන් කිසිදු නව වර්ණයක් කැන්වසය මතට එක් කළේ නැත. රුවන් කී දේ පමණක්ම, හරියටම අඳින ලද චිත්‍රයේ වර්ණවල අර්ථය පැහැදිලි කර දුන්නා සේය. හදිසියේ වර්ණ සියල්ල අතිශය පැහැදිලි වී ගියා සේය.

රුවන් නැවත කතා කළේය:

“තේරුණාද, ඉන්දියාවෙ ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් -මක්බුල් ෆිදා හුසෑන්- කියුබිසම් හෙවත් ඝනිකවාදි ශෛලියෙන් සිල්ස්ක්‍රීන් ක්‍රමයට මුද්‍රණය කරපු ‘දුර්ගා’ චිත්‍රයේ වර්ණ අටක් භාවිත කළා. මේ වර්ණ අටෙන් හැමටම වඩා දිදුලු දුන්නෙ දුර්ගා දේවියගේ නිර්වස්ත්‍ර ශරීරයේ නිල් වර්ණය. ඒත් ඒ නිල් වර්ණය ඔහුගෙම ‘ක්‍රිෂ්ණලීලා’ නමින් තියෙන චිත්‍රෙ භාවිත කරලා තියෙන ක්‍රිෂ්ණගෙ ළානිල් වර්ණය ඊට වඩා වෙනස්. ඒකෙදි නිල් වර්ණයේ තෙයාකාර විවිධ ස්තර භාවිත කරලා තියෙනවා. මේ නිල් වර්ණයේ සියලු ස්තර වෙනස්-වෙනස් ආකාරයට ද්විමාන තත්ත්වයකින් ඉදිරිපත් කළා.”

පිරිමි ළමයා විශේෂ දෙයක් තේරුම් නොගෙන, රුවන්ගේ මුහුණ දෙස පමණක්ම බලාගෙන සිටියේය. ඔහු කල්පනා කරන්න පටන් ගත්තේය: ‘දැං නං චිත්‍රෙ ඇඳල ඉවර ඇති.’ ඔහු දිගු සුසුමක් හෙළුවේය. ඔහු සිතුවේ මෙපමණකි: ‘අන්තිමේදි එයා අද මොන තැනකටද හේත්තු වුණේ?’ රුවන් කී දෑ තේරුම් ගැනීම ඔහුට අපහසු වුවත් කැන්වසය මත යෙදූ වර්ණවල නිර්වචන ඔහු තේරුම් ගත්තා සේය. කෙසේ වෙතත්, කිසියම් වර්ණ කිහිපයක් චිත්‍රයට එකතු වී ඇත. මේ තරම් විශාල කැන්වසයේ වැඩි කොටසක් හිස්ව තිබෙයි. ඉදින් අඩි 2X2 ප්‍රමාණයේ කැන්වසයක චිත්‍රය ඇන්දා නම් මෙවැනි විශාල ප්‍රමාණයක කැන්වසයක් නාස්ති කර දැම්මේ මන්ද? ඔහු කිසිත් නොකියා බලාගත්වනම සිටියේය. මේ වර්ණ අට අතරින් වඩාත් ඉහළින්ම දිදුලුවේ දුර්ගාගේ නිර්වස්ත්‍ර සිරුරේ නිල් වර්ණයයි. එහෙත් ඒ නිල් වර්ණය ඔහුගේම ‘ක්‍රිෂ්ණලීලා’ චිත්‍රයේ වර්ණයට වඩා වෙනස්ය. එහි නිල් වර්ණයේ ස්තර කිහිපයක් භාවිත කර තිබිණි. මේ නිල් වර්ණයේ සියලු ස්තර වෙනස් වෙනස් ද්විමාන තත්ත්ව ලෙස ඉදිරිපත් කර තිබිණි.


හදිසියේම රුවන් පුටුවෙන් නැඟී සිට කතා කරන්න පටන් ගත්තේය:

“හරි, අරං යන්න. චිත්‍රෙ ඇඳල ඉවරයි.”

පුටුවෙන් නැඟී සිටි පිරිමි ළමයා රුවන් දෙස බැලුවේය. ‘කිසිවක් නොකොට චිත්‍රය ඉදිරියේ පැය පහක් ඔහු වාඩි වී සිටියේය, දැන් එය අවසන් වී ඇත්තේ කෙසේද? පැය පහක් යන තුරු ඔහු කුමක් කළේද? ඉදින් යමක් කිරීමට නොතිබුණේ නම්, මේ තරම් වේලාවක් තමා මෙහි වාඩි කර තබා ගත්තේ මන්ද?’ මෙවර සත්‍ය වශයෙන්ම ඔහුට කෝපයක් ඇති විය. එහෙත් සිනාසෙනවාද නැද්ද යන සිතිවිලි රැගත් මුහුණ මත මඳ සිනාවක් අතුරමින් කතා කළේය: “අයියෙ, මං එහෙනං කෝල් කරල වෑන් එක ගෙන්නන්නං.”

රුවන්ගේ චිත්‍රය ගෙන ඒමට ගිය පිරිමි ළමයා තුළ බලවත් කෝපයක් පිරී පැවතිණි. ඔහු නැවත නැවත කල්පනා කළේ තමා මෙවැනි චිත්‍ර ශිල්පියකු සමඟ කෙදිනකවත් වැඩ නොකරන බවයි.

එහෙත් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි වීඅයිපී පුද්ගලයන් සහ සාමාන්‍ය ජනයා මේ චිත්‍රය කෙරෙහි දක්වන උනන්දුව දුටු ඔහුට ඉමහත් සතුටක් ඇති විය. රුවන් පැහැදිලි කර දුන් පරිදි වර්ණවලටත් මිනිසුන් වර්ණවත් කළ හැකිය. එක්විටම මහාචාර්ය රවීන්ද්‍ර රුවන්ට කීවේ ප්‍රධාන අමුත්තා ඔහුගේ චිත්‍රය මිල දී ගැනීමට කැමැත්තෙන් සිටින බවත්, ඒ සඳහා ඩොලර් දසදහසක් දීමට ඔහු සූදානම් බවත්ය. රුවන් ගැඹුරු කටහඬකින් කතා කළේය:

“නෝ.”

භාරකරු නැවත ඔහුගෙන් විමසුවේ තවත් වැඩිපුර මුදලක් අවශ්‍යද කියාය. රුවන් එකම පිළිතුරක් දුන්නේය:

“නෝ. මං චිත්‍රෙ විකුණන්නෙ නෑ.”

ඩොලර් දසදහසක මුදලකට චිත්‍රය නොවිකුණන බව ඇසූ පිරිමි ළමයාට රුවන් දෙස නොබලා සිටීමට නොහැකි විය. ඔහු වඩාත් උනන්දුවකින් රුවන් දෙස බලාගත්වනම සිටියේය. භාරකරු එතැනින් යන්නට ගියේය. රුවන්ගේ දෙනෙත්වලින් උණුසුම් කඳුළු කැට දෙකක් පහළට වැටුණේය. පිරිමි ළමයා රුවන් අසලට ගොස් ආවේය; කිසිවක් නොකීවේය. රුවන්ද නිහඬව සිටියේය; චිත්‍රය දෙස පමණක් බලාගෙන සිටියේය. මෙතරම් ප්‍රේක්ෂක සංඛ්‍යාවක් මැද පිරිමි ළමයා නිහඬතාවක් අත්වින්දේය. එක්විටම රුවන් පිරිමි ළමයාගේ මුහුණ දෙස නොබලා කතා කළේය:

“මල්ලි, මේ චිත්‍රෙ ඔහේට මොනවද පේන්නෙ?”

ඔහු අන්දමන්ද භාවයට පත් විය; කෙටියෙන් පිළිතුරක් දුන්නේය:

“ලොකු කැන්වස් එකක්. ඒකෙ මැද්දෙ ගුවන් තැපැල් කවරයක්; ඒකෙ රුවන් මනතුංග කියන නම ලියලා තියෙනවා; පුත්තලමේ ගමේ නම සටහන් කරලා තියෙනවා; මුද්දරයක් අලවලා තියෙනවා. ඒකෙ උඩ තැපැල් දෙපාර්තමේන්තුවෙ සීල් එක ගහලා තියෙනවා. ලියුම ලිවුවෙ කවුද කියල පැහැදිලි නෑ.”


“මල්ලි… මේ චිත්‍රෙ ඇයි අනිත් චිත්‍රවලට වැඩිය වෙනස් වෙන්නෙ?”රුවන් හිස සලමින් විමසුවේය. පිරිමි ළමයා කිසිදු වෙනසක් දුටුවේ නැත. එහෙත්, චිත්‍රය අතිශයින් යථාර්ථවාදිය, හරියටම ලියුම් කවරය ස්කෑන් කොට, මුද්‍රණය කොට මෙහි තැබුවා සේය! ඔහු රුවන් තේරුම් කර දුන් ආකාරයට වර්ණ සංයුතිය නිරීක්ෂණය කළේය. අවසානයේදී ඒ වර්ණ කුමන ආකාරයේ අත්දැකීම් එළිදක්වන්න සමත්ද? ලියුම් කවරය අවුරුදු ගණනාවක් පැරණි එකකි. එය චිත්‍රය මත අතිශය සුන්දරව කැපීපෙනෙයි. අසම්දෝ-නොඅසම්දෝයි සිත-සිතා ඔහු රුවන්ට කතා කළේය:

“අයියෙ, මේ චිත්‍රෙ අනිත් චිත්‍රවලින් වෙනස් වෙන්නෙ ඇයි? ඇයි මේ චිත්‍රෙට මේ තරම් ඉහළ මිලක් දෙන්න හදන්නෙ? ඩොලර් දහදාහක් කියන්නෙ අපේ ශ්‍රී ලංකා රුපියල්වලින් ලක්ෂ තිහක් විතර වෙනව. එහෙම වෙලත්, අයියා මේ චිත්‍රෙ විකුණන්නෑ කියල බොහොම පැහැදිලිව කිව්වෙ ඇයි? පොඩ්ඩක්වත් ආසාවක් හිතෙන්නැද්ද මෙච්චර ලොකු මුදලක් අපතෙ යනව කියල?”

ඔහුගේ ප්‍රශ්නවලට නිහඬව සිටීමට රුවන් වඩාත් ප්‍රිය කළේය; නැවත කතා කළේය:

“අද දිනේ කවද්ද? අද දිනේ ප්‍රසිද්ධ ඇයි?”

“අද මැයි 25, මව්වරුන්ගේ දිනය!” පිරිමි ළමයා පිළිතුරු දුන්නේය.

රුවන් හිස සලමින් එය තහවුරු කළේය; කිසිවක් නොදෙඩුවේය. පිරිමි ළමයාගේ උනන්දුවේ සීමා බිඳී ගියේය. ‘ඇයි ඒ මහත්තය චිත්‍රෙ විකුණුවෙ නැත්තෙ? අද දවස ගැන ඇහුවෙ මොකද? මොන වගේ මනුස්සයෙක්ද මෙයා?’ දිනය පුරා ලැබූ අත්දැකීම් ඔහුට එකින් එක සිහිපත් විය. පැය පහක් යන තුරු චිත්‍රයේ අන්තිම වැඩ කටයුතු කරන්නට රුවන් එය ඉදිරියේ හිඳගෙන සිටියේය. පැය පහකට පසු කීවේ ‘දැං චිත්‍රෙ වැඩ ඉවරයි’ කියාය. එක ඉරක්වත් ඔහු ඇන්දේ නැත; කැන්වසය ස්පර්ශ කළේවත් නැත. කොහේ හෝ තැනක එක තිතක් හෝ තැබුවේ නම් සිතට සහනයක් ඇති වන්නේ එය අවසන් කටයුත්ත යැයි සිතීමෙනි. චිත්‍රය, ඒ ප්‍රදර්ශනයේදී විශේෂ ස්ථානයක් ලබා ගත්තේය. ඉතා ඉහළ වටිනාකමක් දෙනු ලැබූයේ එම චිත්‍රයට වුවත්, එය විකුණනු නොලැබිණි. අන්තිමේදී චිත්‍රයේ ඇත්තේ කුමක්ද! ඩොලර් දසදහසක් ලබාගෙන මෙවැනි චිත්‍ර දහයක් ඔහුට නැවත අඳින්නට හැකිව තිබිණි! චිත්‍රය නොවිකුණන බව කී විට භාරකාර මහාචාර්ය රවීන්ද්‍ර ‘අයි අන්ඩර්ස්ටෑන්ඩ්’ (මට තේරෙනව) කියා යන්න ගියේ ඇයි? කලාකරුවන්ගේ කතා-බහවල ‘කෝඩ් ලැන්ග්වේජ් එකක්’ (සංකේත-භාෂාවක්) ඇතැයි ඔහුට සිතිණි.

සෑහෙන වේලාවක් තිබුණු නිහඬතාව බිඳිමින් රුවන් ඔහු දෙස බලා කතා කරන්න පටන් ගත්තේය:

“මල්ලි, මට එතකොට අවුරුදු හතරක්. අපේ ගෙදර තිබ්බෙ බොහොම නරක තත්ත්වයක්. තාත්තගෙ අසනීප තත්ත්වෙ හොඳ මට්ටමක තිබුණෙ නෑ. සතියකට දවස් දෙක-තුනක් වැඩවලින් නිවාඩු ගන්න සිද්ධ වුණා. ඒ විදියට මාස දෙකක් ගෙවිලා ගියා. තාත්ත වැඩ කරපු තැනින් ඒකෙ අයිතිකාරයා තාත්තව අයින් කරලා දැම්මා. ගෙදර කිසි දෙයක් ඉතුරු වුණේ නෑ. කෑමට හාල් මිටක් එකතු කරගන්නවත් පුළුවන්කමක් තිබුණෙ නෑ. මගේ මූණ දිහා බල බල අඬ අඬා අම්ම දවස ගෙවන්න පටන් ගත්තා. අහල පහල තැන්වල වැඩපළ කරලා සුළු මුදලක් අම්ම අරන් එන්න පටන් ගත්තා. සමහර විට හාල් කිලෝවක්, සමහර විට පරිප්පු ටිකක්… මෙහෙම තමයි දින ගෙවිල යන්න පටන්ගත්තෙ. දොස්තර මහත්තයා තාත්තට දෙන්න ඕනෑ බෙහෙත් ප්‍රමාණෙ වැඩි කළා. ඒ බෙහෙත් මිල දීල ගන්නත් මුදල් ප්‍රමාණවත් වුණේ නැහැ. දවසක් අම්ම හදිසියෙම තීරණය කළා බෙහෙත්වලට යන වියදමයි, මගේ ඉගෙනුම් කටයුතුවලට යන වියදමයි කොහෙන් හරි හොයාගන්න ඕනෑ කියල. අහල පහල හිටපු මිලින්ද කියන මනුස්සයෙක් කියපු විදියට දවසක් උදේ මට මුකුත්ම නොකියා අම්මා යන්න ගියා. කොහේ ගියාද කියල මං දන්නෙ නෑ. තාත්තගෙන් අහන්න මට බය හිතුණා. ඒත් මං අඬ අඬා තාත්තගෙන් ඇහුවා. තාත්ත කෙටියෙන් උත්තර දුන්නා… ‘වැඩක් හොයන්න කොහෙටද ගිහිං,’ කියල. ඒත් අම්ම ආවෙ නෑ. පස්සෙන්දා උදේ ආච්චි ආවා – අම්මගෙ අම්මා. කලින් දවසෙ රෑ අපි මුකුත් කාලා හිටියෙ නෑ. ආච්චි ගෙනාපු වේළිච්ච ඉඳිආප්පයි, පොල්සම්බෝලයි කාලා මං ඉස්කෝලෙ යන්න ලැහැස්ති වුණා. ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආවට පස්සෙ දැක්කා ආච්චි මොනවා දෝ වගයක් උයලා තියෙනවා. මං ආච්චිගෙ උකුළෙ වාඩි වෙලා හයියෙන් අඬන්න පටන් ගත්තා; සැරින් සැරේ අහුවා ‘අම්ම කොහෙද ගියේ, කවද්ද එන්නෙ?’ කියලා. ආච්චිත් මාත් එක්ක ඇඬුවා; උකුළෙ තියාගෙන මට කිරිබත් ටිකක් කැවුවා. හැමදාම උදේ නැඟිටල මං ගේ පුරාම අම්මව හෙවුවා, ඉස්සරහ පැත්තෙයි, පිටිපස්ස පැත්තෙයි දෙකේම. අඬාගෙනම තමයි හැමදාම දවස පටන් ගත්තෙ. ටිකින් ටික මට මාස එකහමාරකට පස්සෙ ලියුමක් ආවා. අම්මා එයාගෙ ලස්සන අකුරුවලින් ලියලා තිබුණා… ‘මගේ ආදරණීය පුතා රුවන්…’ කියල. අම්මගෙ අත්අකුරු දැකපු පාර මං කෑගගහ අඬන්න පටන් ගත්තා. ගෙදර කටයුතු බලා-හදා ගන්නයි, තාත්තගෙ බෙහෙත්වලට යන වියදම් පියවන්නයි හිතාගෙන අම්මා ගෘහ සේවිකාවක් හැටියට ලෙබනන් රටට ගිහිං. දැන් අම්ම ගෙදරක වැඩ කරනවා. පළමු මාසෙ පඩිය ගෙදරට එවල තිබුණා. දැන් තාත්තගෙ බෙහෙත් ගන්නයි, මගේ ඉස්කෝලෙ වැඩවලටයි, කෑම බීම ගන්නයි කරදරයක් වෙන එකක් නෑ. මේ ඔක්කොම වියදම් කළාට පස්සෙ මුදල් ටිකක් ඉතුරු කරගන්නත් අම්මා උත්සාහ කළා. ඒ ආපහු එද්දි අරං එන්න හිතාගෙන.


ලියුම මගේ පපුවට හේත්තු කරගෙන මං උඩ පැන-පැන එහාට-මෙහාට දුවන්න පටන් ගත්තා. එක මොහොතකටවත් ඒ ලියුම මගෙන් ඈත් වෙලා තියෙන්න මං ඉඩ දුන්නෙ නෑ. නිඳාගන්න වෙලාවට ඒක ඉඹල ඇඳ ඉහ උඩින් තියා ගන්නව. උදේට නැඟිට්ට ගමන් ඒක ඇරල බලනවා. අපේ තත්ත්වෙ තරමක් දුරට හොඳ අතට හැරුණා. තාත්තා ඉස්සරට වඩා සුවයෙන් ඉන්න බව පෙනුණා. ඉස්කෝලෙ ඇරිලා හැමදාම මං දුවගෙන දුවගෙන ගෙදරට ආවෙ තවත් ලියුමක් ඇවිල්ලද කියලා බලන්නයි.

ඒ විදියට අවුරුදු දෙකක් විතර ගෙවිලා ගියා. මං හුඟක් බලාපොරොත්තුවෙන් හිටියා අම්මා එන්නෙ කවද්ද කියලා බලාගෙන. මට අවුරුදු නවයක් වෙද්දි එක ලියුමක් ආවා. ඒ දවස මැයි දාහතර වැනිදා. අම්මා ඒකෙ ලියල එවල තිබුණා එයා එහේ තවත් ඉන්නෙ නෑ, සල්ලි හුඟක් ඉතුරු කරගන්න ලැබුණෙත් නැහැ, ඒ අස්සෙ සිවිල් යුද්දෙකුත් පටං අරන් කියලා. මිනිස්සු හුඟක් මැරුණලු. ඒක ලියුම කියවලා මං හුඟක් බය වුණා. හැම වෙලාවකම දෙවියන්ට කිවුවෙ ‘අම්මව ඉක්මනට ගෙන්නල දෙන්න’ කියලයි. අම්මා එවපු අන්තිම ලියුම තමයි ඒක. ඊට පස්සෙ කිසිම ලියුමක් ආවෙ නැහැ. ඊට මාස දෙකකට විතර පස්සෙ එක මනුස්සයෙක් ට්‍රංක පෙට්ටියක් අරං ඇවිත් තාත්තට දුන්නා. අපි ඒක ඇරලා බැලුවා. මට එවාපු සෙල්ලම් බඩු කීපයක්, චිත්‍ර අඳින පොතක්, පාට පැන්සල්, අම්මගෙ සාරියක්-දෙකක්, තාත්ත වෙනුවෙන් ගත්ත කලිසමක්-කමිසයක්… මට හරිම සතුටුයි. චිත්‍ර අඳින පොතකුයි, පාට පැන්සලුයි අරගෙන මං ගෙයින් එළියට බැහැලා දුව දුව සින්දු කිවුවා. මිනිත්තු කීපෙකට පස්සෙ ආච්චි කෑගගහ අඬන සද්දෙ ඇහිලා මං තිගැස්සුණා. ආපු මනුස්සයා බොහොම දුකෙන් මා දිහා බලල යන්න ගියා…”

භාරකාර මහාචාර්ය රවීන්ද්‍ර කුඩා ගැහැනු ළමයකු කැඳවාගෙන පැමිණියේය. ඇය රුවන් අසලට විත් පුංචි පොතක් ඔහු දෙසට දිගු කළාය:

“ඔටෝග්‍රාෆ් ප්ලීස්!”



Nissanka Rajapaksa

unread,
Jul 1, 2025, 9:54:18 PMJul 1
to INDRAKA group
44

රේඩියෝ රෝගය

ශ්‍රී යමුනාදත්ත් වෑෂ්ණව්

පරිවර්තනය: උපුල් රංජිත් හේවාවිතානගමගේ

(1)

      ඈත දක්ෂිණ අර්ධ ගෝලයෙහි ඉතා පැරණි, ශිෂ්ටාචාරගත ධනවත් රාජ්‍ය දෙකක් සමීපව පිහිටා තිබේ. එක් රටක් ඔටුවෙකු මෙන් විශාලය, අනෙක් රට කූඹියෙකු තරම් කුඩා බවකින් යුක්තය. ඒ ඒ රටවල ප්‍රචලිත භාෂාවලින් පිළිවෙළින් ‘ශිබුදලිඋමා’ සහ ‘කම්පකබශබතඌ’ යනුවෙන් අමුතු ආකාරයේ නම් දෙකකින් එම දෙරට හැඳින්වෙයි. මෙහිදී එම දීර්ඝ නම් දෙක වෙනුවට විශාල රට ‘කේමා’ නමිනුත්, කුඩා රට ‘කනිකා’ යනුවෙනුත් හඳුන්වමු.

      කනිකා දේශයේ ප්‍රධාන රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී දොස්තර පියරී එදින උදෑසන රෝහලට ළඟා වූයේය. දිනපතා කෙරෙන රාජකාරිවලට අනුව මේට්‍රන්වරිය රෝගීන්ගේ ලියාපදිංචි කාඩ්පත් දොස්තර පියරී වෙත ඉදිරිපත් කරමින් සිටියාය. රෝගීන්ට දෙනු ලැබූ බෙහෙත් වර්ග, සිරුරේ උෂ්ණත්වය පිළිබඳ වැඩිවීම්-අඩුවීම්, ආශ්වාස-ප්‍රශ්වාසය පිළිබඳ සහ ලේ ගමන පිළිබඳ තොරතුරු ආදි දේ එහි ඇතුළත් වී තිබිණි.

      එම කාඩ්පත් ගොන්න මත දොස්තර පියරීගේ සිහින් ඇඟිලි වේගයෙන් එහා-මෙහා යමින් තිබිණි. වරින්වර ඔහු කාඩ්පත් පරීක්ෂාව සිදු කරන අතරම රෝගීන්ගේ තත්ත්වයන් පිළිබඳවද මේට්‍රන්වරියගෙන් කරුණු විමසීමක් කරමින් සිටියේය. දොස්තර පියරීගේ මේ කරුණු විමසීම අතිශය මධුර සහ ශිෂ්ට වුවද, මේට්‍රන් ඩොරිථ්ගේ මුහුණ වියැළී ගොස් තිබිණි. එසේ පිළිතුරු දෙද්දී ඇය ගොත ගසන්නටද වූවාය. විශේෂ වාට්ටුවේ සිටින අලුතෙන් ඇතුළත් වූ රෝගියෙකුට අයත් කාඩ්පත පිළිබඳව ඇය කනස්සල්ලෙන් සිටියාය. කලකට පෙර හමුදාවේද සේවය කොට ඇති දොස්තර පියරී එක්වරම ඩොරිථ් දෙස බලාගත්වනම සිටියේය. ඔහුගේ ඇස් කණ්ණාඩියේ තිබූ දීප්තිය නිසා ඩොරිථ්ගේ හුස්ම ගැනීම මඳකට නතර වූවා සේය. දොස්තර පියරී අත තිබුණු කාඩ්පතෙහි කිසිවක් ලියා නොතිබිණි. එය හිස් කාඩ්පතක් විය. රෝගියාගේ නම, සිරුරේ උෂ්ණත්වය, ලේ ගමන ආදිය පිළිබඳ කිසිදු සටහනක් එහි සටහන් කර නොතිබුණි.

      “මේ අර කේස් එක ඩොක්ට. දිසාපතිතුමා අපේ විශේෂ වාට්ටු වෙන් කරල තිබුණ මේ වෙනුවෙන්. මට හිතෙන විදියට මේ ලෙඩා ආණ්ඩුවෙ ලොකු නිලධාරියෙක්. ඒත් එයාව         ගොළුවෙක් කරල තමයි තියෙන්නෙ. තමන්ගෙ ලෙඩේ ගැන නර්ස්ට කිසිම දෙයක් අහන්න      දුන්නෑ. අඩු ගාණෙ තමාට අදාළ දේවල් කියන්න ඕනකමකුත් නෑ. ලෙඩත් එක්ක ආපු කෙනෙක්   වාට්ටුවෙ නර්ස්ව ලෙඩාගෙ කාමරෙන් එළියට දැම්මා.” මේට්‍රන් ඩොරථ්ගේ ස්වරය අතිශය අසරණ වූවක්ම විය.

      ආණ්ඩුවේ කිසියම් ඉහළ කෙනෙකු ප්‍රතිකාර ගැනීම සඳහා රෝහලට පැමිණෙන බව දැනුම් දුන් ආකාරය දොස්තර පියරීට සිහිපත් විය. ඔහුගේ නම හෙළි නොකෙරිණි. මේ රෝහලට කිසියම් පුද්ගලයෙකු ඇතුල්වීමත් සමගම ඔහුට කැඳවීමක් ලැබිය යුතු බව ඔහුට කල්පනා විය. එහෙත්, මේට්‍රන්වරිය එය ඉටු කොට නැත.

      “ලෙඩා ඇතුල් වෙන කොටම ඒ තොරතුර මට දැනුම් දෙන්න ඕනෙ. ඇයි එහෙම කළේ             නැත්තෙ?” දොස්තර පියරී විමසුවේය.

      “ලෙඩා එක්ක ආපු අය අපිට ඒ වැඩේ කරන්න ඉඩ දුන්නෙත් නෑ. ඒ විතරක් නෙමෙයි, නර්ස් සාමාන්‍යයෙන් අහන විදියට ලෙඩාගෙන් ඇහුව ‘මොනවද ඔබට තියෙන අසනීප?’ කියල. එයා           එක්ක ආපු අර වයසක මනුස්සයා නර්ස්ව පැත්තකට තල්ලු කරල කාමරෙන් එළියට දැම්මා.             වයස දිහා බලපුවම නං පේන්නෙ ඒ මනුස්සය ලෙඩාගෙ තාත්ත වගේ කියලයි. ඒත් නර්ස්ව    එළියට දාල ආපු ඒ වයසක මනුස්සය ලෙඩා ළඟට ගිහිං එයාගෙ කනට කරල හුරතල්       වචනවලින් පුංචි ළමයෙක් වගේ කියන්න පටන් ගත්තා… ‘තාත්තෙ, මට ඊයෙ ඉඳල    හෙම්බිරිස්සාව වගේ’ කියල. මෙහෙම කියල එයාගෙ ලේන්සුවෙ කොන තමන්ගෙ නහය     ඇතුළට යවල කිවිසුම් අරින්න පටන් ගත්තා. ආයෙත් එයා කිව්වා ‘තාත්තෙ නහයෙන්             හොඳටෝම හොටු ගලනව’ කියල.” මේට්‍රන් ඩොරථ් කියාගෙන කියාගෙන ගියාය.

      මෙසේ කියාගෙන යද්දී ඇයට සිනාව නවතා ගත නොහැකි විය. “අනේ ඩොක්ට, මට මේක    තේරෙන්නෑ කියන්නෙ මේ වගේ ‘නාටකයක්’ කරන එකේ තේරුම මොකද්ද කියන එකයි. ඊට         පස්සෙ ලෙඩා එක්ක ආපු කෙනා එළියට ඇවිත් මට කිව්වා ‘ඩොක්ට ඇවිත් මේ කාමරේට        ඇතුල් වෙනකං ඔහේ මේකට ඇතුල් වුණොත් හෙම බලාගෙනයි! ඩොක්ට ආවට පස්සෙ මම            ඉස්සෙල්ල එයාව හම්බවෙලා කියල දෙන්නං, මේ ලෙඩා එක්ක කතා කරන කොට ඒක කරන්න             ඕන කොහොමද කියල’. ඔන්න ඔහොම කිව්වා.”

      මේ කතාබහ කෙරෙන අතරතුර උපස්ථායකයෙක් බිස්නස් කාඩ්පතක් රැගෙන කාමරයට පිවිසියේය.

      “මේ කාඩ් එක දුන්නු මහත්තය එළියෙ වාඩිවෙලා ඉන්නව. ඩොක්ට මුණ ගැහෙන්න ඕනෙලු   ඉක්මනටම.” ඔහු කීවේය.

      කාඩ්පත මත වූ නම කියවා බලත්ම දොස්තර පියරී කලබලයට පත් වූවා සේ විය.

      “ඉක්මනට එතුමාව එක්කං එන්න ඇතුළට.”

      නර්ස් සහ මේට්‍රන්වරිය දෙස බලා කාමරයෙන් පිට වී යන්නැයි හිසෙන් සන් කළේය. ඒ දෙදෙනා, එම පුද්ගලයා, රෝගියාගේ වයසක උදව්කාරයා, කාමරයට එන විටම පිටතට පැමිණියෝය.

      ආගන්තුකයා කව්දැයි දොස්තර දැන සිටියේය. රටේ අගමැතිවරයාගේ පුද්ගලික ලේකම් කව්දැයි නොදන්නා දිස්ත්‍රික් නේවාසික වෛද්‍යවරයකු සිටින්නේ කොහිද! මේ මුළු කනිකා දේශයටම සිටියේ මෙවැනි දිස්ත්‍රික් වෛද්‍යවරු තිදෙනෙකු පමණි. ඒ සියලු දෙනා පත් කරන්නේ අගමැතිවරයාය. දොස්තර පියරී අසුනෙන් නැගී අමුත්තා පිළිගත්තේය; අසල පිහිටි සාකච්ඡා කාමරය වෙත පැමිණෙන ලෙස ඉල්ලා සිටියේය.

      “නෑ, අවශ්‍ය නෑ.” ආගන්තුකයා වෛද්‍යවරයාට තම අසුනේම සිටින්නැයි සන් කළේය.

      තම අසුනේ වාඩි වී දොරවල් දෙක දෙසම හොඳින් බලා වෛද්‍යවරයාට සමීප වී ඔහුගේ නකට ළංකර කතා කරන්නට පටන් ගත්තේය.

      “ඔව්, ඔබතුමා ඉස්සෙල්ලම බලන්න අපි දෙන්න කතා කරන දේවල් කාටවත් ඇහෙන්නෑ නේද         කියල. මේ ජනෙල්, එතකොට දොරවල් ළඟ කව්රුවත් නෑ නේද? මට ඔබතුමා එක්ක අතිශය   රහස් සාකච්ඡාවක් කරන්න තියෙනව.”

      “මේ වගේ වෙලාවක… ඔබතුමා මාත් එකක් අල්ලපු කාමරේට ගියොත් හොඳයි. ඒකෙ තමයි    ලෙඩ්ඩු පරීක්ෂා කරන්නෙ, හරිම හුදෙකලා තැනක්.” දොස්තර පියරී කීවේය.

      දෙදෙනාම වම්පසින් තිබුණු කාමරයට ගියහ. දොස්තර මහතා දොර ඇතුළතින් වසා අගුලු දැම්මේය.

      ආගන්තුකයා කතා කළේය.

      “මං කෙටියෙන් ඔබතුමාට ඔක්කොම කියල දෙන්නං. අද උදේ මම තමයි අගමැතිතුමාවත්      එක්කං විශේෂ වාට්ටුවට ආවෙ. කලබල වෙන්න එපා, අගමැතිතුමාට ඔබතුමා ගැන හොඳ      විශ්වාසයක් තියෙනව. ඒ හින්දමයි එතුමා මේ රෝහලට ඇතුල් වුණේ. එතුමා මෙහේ ඉන්නෙ රහසෙ. දැනටත් කව්රුවත් දන්නෑ එතුමා කව්ද කියල. ඉස්සරහටත් එතුමා කව්ද කියන එක    කාටවත් දැනගන්න ඉඩ තියන්න බැහැ. අපි ඒක ගැන වග බලාගන්න ඕනෙ. එතුමා මේ    රාත්‍රියෙම මෙහාට ආවෙ ඔබතුමාගෙ මේට්‍රන්ටවත්, නර්ස්ටවත් අඳුනගන්න බැරි වෙන්නයි. මං ඒ      දෙන්නටම ලෙඩා ළඟට එන්න ඉඩ දුන්නෑ. ඔබතුමා අපි මේ පත් වෙලා ඉන්න තත්ත්වෙ ගැන     කල්පනා කරල මෙතුමාව කොහෙත්ම දන්නෙ නැති අය හරි, මේ රහස රකින්න පුළුවං හොඳටම         විශ්වාස අයටම විතරක් මෙතෙන්ට එන්න ඉඩ සලස්සන්න.”   

      දොස්තර පියරී නිහඬව සියල්ල අසා සිටියේය. අගමැතිතුමාගේ රෝගය කුමක්ද යන්න ඉක්මනින්ම දැන ගැනීමට ඔහුට අවශ්‍ය වුවත්, මේ වැඩිහිටි නායර් මහතා වැනි පුද්ගලයකු සමඟ එම විෂය පිළිබඳව කතා කිරීමටවත් ධෛර්යයක් නොමැති විය.           

      නායර් මහතා කතා කළේය.

      “තමන්ගෙ ලෙඩේ ගැන අගමැතිතුමාට විස්තර කරන්න බැහැ. මං එතුමගෙ එක්ස්-රේ පින්තූර            ගෙනාවා. ඔබතුමා ඒවා බලන්න. අහන්න දෙයක් තියෙනව නං ඒක මගෙන් අහන්න. ඊට අමතර             දෙයක් තියෙනව නං, ඒ ප්‍රශ්න ටික ඇතුළත් කරල ප්‍රශ්නාවලියක් හදන්න. අගමැතිතුමා ඒ             ප්‍රශ්නවලට උත්තර ලියල දේවි.”

      “එතුමට තියෙන්නෙ මොන වගේ රෝගයක්ද?” දොස්තර පියරී හිතට තරමක ධෛර්යයක් ගෙන විමසුවේය. නායර් මහතා මඳ වේලාවක් නිහඬව සිටියේය; යමක් සිතා කතා කළේය.

      “ඔබතුමා පත්තරවල දකින්න ඇති මේ වෙලාවෙ අපේ රට භයානක ආර්ථික පරිහානියකට මූණ        පාල තියෙනව කියල. අපේ බොහෝ රහසිගත වැඩපිළිවෙළවල් අල්ලපු රට ‘කේමා’ දැනගෙන          තියෙනව. සමහර විට ඔබතුමා දන්නැතුව ඇති මේ ඔක්කොම රහස් ටික පිටරටවල අය අතට    ගිහිං තියෙන්නෙ අගමැතිතුමා අතින්මයි.”

      ඛනිජ තෙල් සම්බන්ධ ගැටලුවකදී විදේශ ඇමතිවරයා සැක කොට ඔහු වහාම තනතුරෙන් ඉවත් කළ බව දොස්තර පියරී දැන සිටියේය. අසල්වාසී දේශය මේ චෝදනාව කනිකා දේශයට එල්ල කළේ ඔහු තම රටින් ඛනිජ තෙල් නිධි සොරකම් කිරීමට කටයුතු කළ බව කියමිනි. මේ සම්බන්ධයෙන් ඇමතිවරු එකිනෙකාට චෝදනා එල්ල කර ගැනීමට පටන් ගත්තේ ‘දේශද්‍රෝහියා’ යන වචනයද භාවිත කරමිනි. එහෙත්, දැන් මෙය අසන විට… අගමැතිතුමා රටට විරුද්ධව ද්‍රෝහිකම් කිරීමේ චෝදනාවට ලක්වීම… එය එකපැහැර විශ්වාස කිරීමටද නොහැකි දෙයකි. මක්නිසාද යත්, වසර ගණනාවක් තිස්සේ අගමැතිතුමා ස්වාර්ථයෙන් තොරව රටට සේවය කරන බව සැවොම ප්‍රශංසා මුඛයෙන් කතා කරමින් සිටි බැවිනි.

      දොස්තර පියරී තරමක පැකිළෙන ස්වභාවයකින් සිටින බව දුටු නායර් මහතා සිය හඬ අවදි කළේය.

      “අගමැතිතුමාට ඒ විදියට රටට ද්‍රෝහිකම් කරන්න පුළුවංකමක් නැහැ. එහෙම කිරීමේ අදහසක්          තිබුණෙත් නෑ. ඒත් මේ කතාව ඇත්තක්. අපේ රටේ අතිශය රහසිගත තොරතුරු එතුමා අතින් අල්ලපු රටවල්වලට ගිහිං තියෙනව. ඒ හින්ද පහුගිය දවස්වල අපේ රටට කියන්න බැරි තරමේ             පාඩු සිද්ධ වෙලා තියෙනව.”

      දොස්තර පියරී නායර් මහතාගේ මුහුණ දෙස බලා සිටියේ ඉමහත් පුදුමයකිනි; ‘මේ වයසක මනුස්සයා හොර රහසෙම අගමැතිතුමාව පැහැරගෙන ඇවිත් මේ රෝහලේ ප්‍රතිකාර කරන මුවාවෙන් එතුමාව ඝාතනය කරන්න හදන වැඩසටහනක්ද මේක! සමහර විට හොරෙන්ම හිරකාරයෙක් එක්කං එනව වගේ මහ රාත්තිරියෙම රෝහලට එක්කං ආවෙ ඒක නිසා වෙන්න ඇති.’

      දොස්තර පියරීගේ කන අසලටම තම මුව ගෙන ආ නායර් මහතා ඉතා සෙමින් මතුරන්නට පටන් ගත්තේය.

      “කේමා රටේ රහස් ඔත්තුකාරයො අපේ අගමැතිතුමාගේ ඇඟේ කොහේ හරි තැනක මොකක්            හරි සියුම් උපකරණයක් සවි කරල තියෙනව. එතුමා කියන හැම දෙයක්ම රේඩියෝ තරංග           ඔස්සෙ පිටට යනවා. කේමා රටේ අය ඒවට සවන් දෙනවා. ඒ පාහරයො අගමැතිතුමාව             තමන්ගෙ ‘ට්‍රාන්ස්මීටරයක්’ කරගෙන. ඒක තමයි මෙතුමාට තියෙන ලෙඩේ.”              

(2)

      කේමා රටේ සහ කනිකා රටේ රහස් ඔත්තුකරුවන් එකිනෙකා ගැන තොරතුරු සෙවීමට සහ රැවටීමට, නොමඟ යැවීමට කළ උත්සාහ කිහිපයක් පිළිබඳ පැරණි මතක රැසක් දොස්තර පියරීට මතක තිබිණි. වසර කිහිපයකට පෙර මහතැන්වල උපදෙස් පිට කනිකා රටේ මූර්ති ශිල්පීන් විසින් රනින් කරන ලද බුදුන්වහන්සේගේ පිළිමයක් කේමා රටේ පාලකයන්ට තෑගි කරනු ලැබිණි. එම මූර්තිය රටේ පාලකයාගේ මන්දිරයේ විශේෂ කාමරයක තැන්පත් කිරීමට ඔවුනට අවශ්‍ය විය. කනිකා රටේ ජනතාව විසින් මිත්‍රත්වයේ සංකේතයක් ලෙස මේ තෑග්ග කේමා රටේ පාලකයන්ට පිළිගන්වන ලදි. කේමා රටේ පාලකයන්ගේ අදහසකට අනුව තෑග්ගකට වඩා වටිනාකමක් මෙහි ඇති බව ප්‍රකාශ කෙරිණි. එහෙත්, කනිකා රටේ ජනයා එහි පාලකයන් සමග එකතු වී අටවා ඇත්තේ උගුලකි. එම මූර්තියට ඔබ්බවා තිබූ පළිඟු මත පතිත වන සියලුම ශබ්ද රේඩියෝ තරංග බවට පත් වූ අතර, කනිකා දේශයේ තිබුණු රේඩියෝ තරංග ග්‍රාහකයක් මඟින් ඒවාට සවන් දිය හැකිව තිබුණි. මේ මූර්තිය පාලකයාගේ මැදුරේ තැබීමෙන් කනිකා රටේ පාලකයෝ කේමා රටේ පාලකයන්ගේ සියලු කටයුතු පිළිබඳ තොරතුරු කිසිදු රහස් ඔත්තුකරුවෙකු එවීමකින් තොරව ලබා ගනිමින් සිටියහ.

      කේමා රටේ අයට ඇති වූ ගැටලුවක් වූයේ කනිකා දේශයේ තොරතුරු සොයා ගන්නට රහස් ඔත්තුකරුවන් රැසක් යැවීමට සිදු වීමත්, ඒ සඳහා විශාල ධනස්කන්ධයක් වැය කිරීමට සිදු වීමත්ය. ඒ සමඟම තම රටේ අතිශය සංවේදී රහස් තොරතුරු කිසිදු වියදමකින්, උත්සාහයකින් තොරව ඔවුන් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳවත් ඉමහත් ගැටලුවක් විය. මේ මූර්තියේ රහස හෙළි වීමද අපූරු ආකාරයකට සිදු වූවකි.

      දිනක් මධ්‍යාහනයෙන් පසු කේමා රටට බැහැරින් ප්‍රචාරය කෙරෙන රේඩියෝ ප්‍රචාරකයන්ගේ තරංග අත්හිටවනු ලැබිණි. එහිදී කේමා දේශයේ ප්‍රසිද්ධ භෞතික විද්‍යාඥයකු වන ගුරංග් මහතාට තම රේඩියෝවෙන් සෙමින්-සෙමින් නැගෙන හඬක් ඇසෙන්නට විය. ගුරංග් මහතා අන්තර්ජාතික වශයෙන් කීර්තියට පත් විද්‍යාඥයෙකි. ඔහු සිතුවේ ‘මේ හඬ එන්නේ විශ්වයේ ඈත තිබෙන ග්‍රහලෝකයකින්’ බවයි. ඔහු තම සියලු අවධානය මේ වෙනුවෙන් යෙදෙව්වේය. ඉඳහිට අපගේ ග්‍රහලෝකයකින් ප්‍රචාරය කෙරෙන සංගීත නාදය විශ්වයේ ඈතට ගොස් කිසියම් තාරකාවක ගැටී නැවත එය අප ග්‍රහලෝකයට ඇසෙන්නට හැකියාවක් ඇති බව ඔහු දැන සිටියේය. වරක් 1953 වසරේ සැප්තැම්බරයේදී එංගලන්තයේ රූපවාහිනී යන්ත්‍රවලින් හුස්ටන් අභ්‍යාවකාශ නැවතුම්පොළේ ප්‍රචාරය වූ සංගීත නාදයක් අසන්නට ලැබී තිබිණි. පසුව දැනගන්නට ලැබුණේ එම අභ්‍යවකාශ නැවතුම්පොළ වසර කිහිපයකට පෙර ක්‍රියාකාරීත්වය අත්හිටවූ එකක් බවයි; එම මධුර සංගීතය අභ්‍යවකාශයේ කිසියම් ග්‍රහවස්තුවක ගැටී පරාවර්තනය වී වසර ගණනාවකට පසුව මෙසේ අසන්නට ලැබුණු බවයි.

      භෞතික විද්‍යාඥ ගුරංග් විශ්වයේ ඈත ග්‍රහ ලොවකින් එන හඬක් යැයි තේරුම් ගෙන එය විශ්ලේෂණය කරන්නට පටන් ගත්තේය. එහෙත්, ඇත්ත වශයෙන්ම එය කේමා දේශයේ පාලකයාගේ මැදුරෙන් ආ හඬකි. එහෙත්, ගුරංග්ගේ අවධානය ඒ වෙත යොමු නොවිණි. ඔහු ඈත ග්‍රහලෝකයකින් එන හඬක් පිළිබඳව පර්යේෂණ කරන පළමු සහ එකම විද්‍යාඥයා වීමේ සිහිනය දකිමින් සිටියේය. විද්‍යාත්මක සඟරාවල ඔහුගේ මේ පර්යේෂණ පත්‍රිකා පළවන්නට පටන් ගැනිණි. ඒවා කියැවූ කනිකා දේශයේ විද්‍යාඥයෝ තුම්මුනින් සිනහ වෙමින් සිටියෝය. මේ රහස හෙළිවෙතැයි බියෙන් කනිකා දේශයේ අය රහස් ඔත්තුකරුවෙකු ලවා කේමා දේශයේ පාලකයාගේ මැදුරෙන් මේ පිළිමය ඉවත් කරවන ලදි. කේමා දේශයේ අයට මෙය දැන ගන්නට ලැබුණේ බොහෝ කාලයකට පසුවය. කනිකා දේශයේ විද්‍යාඥයන් විසින් සැලසුම් කරන ලදුව තමන් මෝඩයන්ට අන්දවා ඇති බව පැහැදිලි විය. එහෙත්, පිළිමය අතුරුදහන් කරවීමත් සමඟම කේමා දේශයේ අයට සිදු වූයේ නිකම්ම අත් පිස දමා ගෙන පසෙකට වී හිඳින්නටය. කනිකා දේශයට විරුද්ධව කටයුතු කිරීමට කිසිදු සාක්කියක් සොයා ගැනීමට ඔවුන්ට නොහැකි විය.

      කේමා දේශයේ විද්‍යාඥයෝද දක්ෂතාවක් නොමැති පිරිසක් නොවූහ. ඒ රහස් ඔත්තු මෙහෙයුමට පළිගැනීමක් ලෙස කනිකා දේශයේ අමාත්‍ය මංඩලය රැස්වන ශාලාවේ බිත්තිවල රඳවා ඇති චිත්‍ර රාමුවලට පිටුපසින් මකුළු දැලකට සමාන කුඩා යන්ත්‍රයක් සවි කරවන ලදි. මේ යන්ත්‍රය හා සම්බන්ධ වීමේ උපකරණ කනිකා දේශයේ පිහිටුවා ඇති කේමා දේශයේ තානාපති කාර්යාලය තුළ සවි කිරීමට කටයුතු කෙරිණි. මෙය පළිඟු එබ්බවූ රන් බුදු පිළිමය තරම් ප්‍රබල යන්ත්‍රයක් නොවූවද, එහි සහායෙන් කනිකා දේශයේ ඇමති මංඩලයේ කතාබහ එක්තරා රහස් කේත භාෂාවක් වශයෙන් තානාපති කාර්යාලය මඟින් ශ්‍රවණය කෙරිණි. තානාපති කාර්යාලයට ලැබුණු මේ තොරතුරු තම රටට යැවීම කේමා දේශයේ තානාපතිවරයාට අපහසු කරුණක් නොවීය. කේමා දේශයේ විද්‍යාඥයන්ගේ රහස් වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙමින් පැවතුණේ ඉතා කෙටි කාලයකි. මක්නිසාද යත්, කනිකා විද්‍යාඥයෝ මේ සුක්ෂම තොරතුරු ජාලය පිළිබඳ සියලු තොරතුරු සොයා ගැනීමට සමත් වූහ. ඇමති මංඩල රැස්වීම් ශාලාවේ තිබුණු එම යන්ත්‍රය ඉවත් කරනු ලැබිණි. එම කාමරය පිරිසිදු කිරීම සඳහා දක්ෂ විද්‍යාඥයකු පත් කරනු ලැබිණි. එහෙත්, කේමා දේශයේ ඇත්තෝ නිහඬව නොසිටියෝය. ඔවුහු කනිකා දේශයේ අග්‍රාමාත්‍යතුමාගේ මුළු ශරීරයම රේඩියෝ තරංගයක් බවට පත් කොට රැහැන් රහිත තොරතුරු සපයන යන්ත්‍රයක් බවට පත් කර ගන්නට සමත් වූහ.

      කනිකා දේශයේ අගමැතිතුමාගේ සිරුරෙන් නිහඬවම මේ තොරතුරු කේමා දේශයට ලැබීම කවදා සිට සිදු වන්නේදැයි කිසිවෙකුත් නොදනිති. මෙවැන්නක් පිළිබඳ හැඟීමක් අගමැතිවරයාට හෝ ඔහුගේ රජයට නොතිබිණි. එහෙත්, ඛනිජ තෙල් සම්බන්ධයෙන් කෙරුණු කනිකා රජයේ රහස් යෝජනාව පිළිබඳ තොරතුරු කේමා දේශයට ලැබීම මගින් හෙළි වූයේ කේමා දේශයේ අය කනිකා දේශයේ ඇමති මංඩලයේ කතාබහට කන් දී තොරතුරු ලබා ගනිමින් සිටින බවයි.

      සිද්ධිය සිදු වූයේ මේ ආකාරයටය. කනිකා දේශයේ ඛනිජ තෙල් ළිං තිබුණේ නැත. අන් සියලු ස්වභාවික සම්පත් ඔවුනට තිබුණද භූමිතෙල්, පෙට්රල්, පාරවල්වලට දමන තාර, සහ යන්ත්‍රවලට දමන තෙල් සඳහා අසල්වැසි කේමා දේශයේ පිහිට පතන්නට සිදු විය. එමෙන්ම මේ සියලු දේ සඳහා අති විශාල ධනස්කන්ධයක් වැය කිරීමටද සිදු විය. මේ හේතුව නිසා තම රටේම තෙල් නිධි සොයා ගැනීමට අදාළ විද්‍යාත්මක දැනුම ලබා ගැනීම සඳහා කනිකා දේශයේ විද්‍යාඥයන් පිරිසක් විදේශවලට යවනු ලැබිණි. අවුරුදු ගණනාවක් තිස්සේ වෙහෙස වීමෙන් පසු කේමා දේශ සීමාවට ආසන්නයේ පිහිටි ඉතා විශාල තෙල් නිධියක් පිළිබඳ තොරතුරු ඔවුහු සොයා ගත්හ. මෙය පිහිටා ඇත්තේ අඩි 3000ක ඝනත්වයකින් යුතු ගල් කුට්ටියක් තුළය. තෙල් නිධිය තම රටේම තිබුණත් එය ලබා ගැනීම සඳහා ළිඳක් සෑදිය හැක්කේ කේමා දේශ සීමාවට ආසන්නයේමය.

      කේමා දේශය කොතරම් විශාල සහ සශ්‍රීක භූමියක් වුවත් එහි නිවැසියෝ එම අනුපාතයට ‘දියුණු’ වී සිටියේ නැත. ඔවුහු ඒ කුඩා කනිකා දේශයේ සශ්‍රීකත්වයට සහ ස්වාධීනත්වයට ඊර්ෂ්‍යා කළෝය. එසේ හෙයින් මාස කිහිපයක් තිස්සේ සෙවුම්-බැලුම් කිරීමෙන් පසුව කනිකා දේශයේ විද්‍යාඥයන් තීරණය කළේ අසල්වැසි දේශයෙන් කිසිදු සහයක් නොලබා කෙළින්ම තෙල් ළිං කණින්නේ නැතිව දේශ සීමාවට ඈතින් එය සිදු කළ යුතු බවයි. ගල්තලාව ඇතුළතින්ම දේශ සීමාවෙන් කිලෝමීටර් 10-12ක් දුරට යනතෙක් නළ මාර්ග සවි කොට ඒ හරහා අමු තෙල් ගෙන ගොස් පිරිසිදු කිරීම කර ගත හැකි බව ඔවුහු කල්පනා කළහ. මේ සඳහා අතිශය රහසිගත සැලැස්මක් සකස් කෙරිණි. විද්‍යාඥයෝ නැවත විදේශගත වූහ. අගමැතිවරයා අවශ්‍ය යන්ත්‍ර මිල දී ගැනීම සඳහා ජර්මනියට සහ අමරිකාවටද ගියේය. ආපසු සිය රට පැමිණි අගමැතිවරයා විසින් ඇමති මංඩලය රැස්කොට රහසිගත සාකච්ඡාවක් පවත්වා මේ ගැන දැනුවත් කරනු ලැබිණි. වසර ගණනාවක් යනතෙක් මේ සැලැස්ම අතිශය රහසිගතව තිබුණු අතර, ඇමතිවරුන්ගෙන් සමහරෙකුට තම රට ඛනිජ තෙල්වලින් ස්වයංපෝෂණය වන බව දැන ගන්නට ලැබුණේ පළමු වරටය. අසල්වැසි රටෙන් පිහිටක් නොලබා දේශ සීමාවට බොහෝ දුරින් මේ තෙල් ළිං පිහිටුවෙන බවද දැන ගන්නට ලැබිණි.

      මේ රහසිගත රැස්වීමේ තොරතුරු කනිකා දේශයේ ජනතාව දැන ගන්නටත් කලින්, පසුදිනම අසල්වැසියා වන කේමා දේශය දැන ගත්තේය. ඔවුන් වහා චෝදනා එල්ල කරන්නට පටන් ගත්තේ තමන්ටද අයිතිවාසිකමක් ඇති මේ තෙල් සම්පත නිහඬවම සොරා ගන්නට කනිකා දේශය උත්සාහ කරන බවයි. මේ පුවත කනිකා දේශය තුළම මෙපමණ කලක් රහසිගතව තබා ගත්තද සියලු තොරතුරු සාක්කි සහිතවම අකුරක් නෑර කේමා වැසියන් දැන ගත්තේ කෙසේද යන්න කාහටත් ඉමහත් පුදුමයක් ඇති කළ දෙයක් විය. මේ නිසා කනිකා දේශය තුළ ඉමහත් බියක් පැතිර ගියේය.

      මේ ගැන සාකච්ඡා කිරීම සඳහා කනිකා දේශයේ ඇමති මංඩලයේ හදිසි රැස්වීමක් වහාම කැඳවනු ලැබූයේ නැවත වරක් කේමා දේශයේ රහස් ඔත්තුකරුවන්ගේ කිසියම් ආකාරයක උපකරණයක් ඇමති මංඩල සභා ශාලාවේ සවි කර ඇත්ද යන්න සැක හැර දැන ගැනීමටය. මෙවර එම රැස්වීම එම ශාලාවේ නොපවත්වා ඉන් බැහැර වෙනත් ශාලාවක පවත්වන ලදි. ප්‍රසිද්ධ විද්‍යාඥයන් කැඳවා සභා ශාලාව රාඩාර් යන්ත්‍ර යොදවා පරීක්ෂාවට ලක් කරන ලදි. එහෙත්, කිසිදු සියුම් උපකරණයක් එහි ඇති බවට කිසිදු සලකුණක් දක්නට නොලැබිණි. පසු දින විදේශ රටවල පළ වූ පුවත්පත්වල දෙවනුව පැවැත්වූ රහස් රැස්වීම පිළිබඳ තොරතුරු සියල්ලද පළ වී තිබිණි. කේමා දේශයේ වැසියන් කනිකා දේශයේ ඇමති මංඩලයේ බංකොලොත් භාවය ගැන සඳහන් කරමින් පවසන්නට පටන් ගත්තේ අසල්වැසි රට පොළව යටින් උමං හාරා තමන්ගේ රටට අයිති තෙල් නිධිවලින් තෙල් සම්පත සොරා ගැනීමට උත්සාහ ගත් බවයි. මේ ප්‍රවෘත්තිය නිසා රට තුළ මෙන්ම විදේශ රටවලද කනිකා දේශයේ කීර්තිය පිරිහී ගියේය.

      ඇමති මංඩලයේ ඊළඟ රැස්වීම් පවත්වන්නට යෙදුණේ එළිමහන් උද්‍යානවලය. එම රැස්වීම්වලට සහභාගි වන්නට පැමිණි ඇමතිවරුන්ට එම ස්ථානයෙන් බොහෝ දුර පිහිටි ස්ථානයකදී තමන්ගේ අත් ඔරලෝසු, සපත්තු ආදිය මෙන්ම සියලු ඇඳුම්ද ඉවත් කොට නව ඇඳුම් කට්ටල ඇඳ ගන්නට සිදු විය. මෙසේ කරනු ලැබුවේ කේමා රහස් ඔත්තුකරුවන් විසින් මේ අයගේ ඇඳුම්-පැලඳුම්වල කිසියම් ආකාරයක සූක්ෂම උපකරණ සවි කර ඇත්දැයි සිතූ නිසාය. අගමැතිතුමා පළමුව සිය නිර්දෝෂ භාවය සැල කළේය. සෑම ඇමතිවරයෙක්ම කැඳවා පදවිය භාර ගනිද්දී කරන ලද දිවුරුම සිහිපත් කරන ලදි. මෙයිනුත් අදහස් කෙරුණේ සියලු දෙනා රටට ද්‍රෝහි වීමක් නොකරන බවට විශ්වාසයක් ඇති කිරීමයි. අගමැතිගේ නැවත දිවුරුම් දීම ඇතුළු සියලු තොරතුරු විදෙස් මාධ්‍ය ආයතනවලට ලැබිණි. පසුව අගමැතිවරයා විසින් ඇමතිවරුන් වෙන්-වෙන් වශයෙන් කැඳවා සාකච්ඡා පවත්වන ලදි. මේ සාකච්ඡාවල තොරතුරුද විදෙස් රටවල් අතට පත් වූ අතර, මේ ගැන වඩාත් සූක්ෂම ආකාරයේ සොයා බැලීමක් ආරම්භ කෙරිණි. බොහෝ උත්සාහයෙන් කළ සොයා බැලීම්වලින් පසුව දැන ගන්නට ලැබුණේ විදේශ කටයුතු ඇමතිවරයා සහ අගමැතිවරයා සාකච්ඡා කරද්දී ඔවුන් විසින් පවසන දේ පමණක් විදෙස් පුද්ගලයන් අතට පත්වෙන බවයි; අන් අයගේ තොරතුරු පිටතට නොයන බවයි. අගමැතිවරයා අවංක පුද්ගලයෙකු බව සැමගේම විශ්වාසය විය. එහෙයින් විදේශ කටයුතු භාර ඇමතිවරයා පදවියෙන් ඉවත් කරනු ලැබිණි. එහෙත්, තොරතුරු පිටතට ගලා යෑම එයින් පසුද නැවතුණේ නැත. අගමැතිවරයා මේ තොරතුරු පිටවීම ගැන ස්වයං අධ්‍යයනයක යෙදෙමින් සොයා ගත්තේ ඔහු විසින් පවසන ලද සියලුම දේ සහ ඔහු ඉදිරියේ අන් අය පවසන දේවලින් සමහරක් පිටතට ගොස් ඇති බවයි. තමන්ගේ සිරුරේ කිසියම් උපකරණයක් සවි කර ඇත්ද යන සැකයද ඔහුට ඇති විය. මේ පිළිබඳව සොයා බැලීම සඳහා  සිය සිරුරෙන් ගනු ලැබූ එක්ස්-රේ ඡායාරූප රැසක් පිරික්සීමෙන් පසුවද කිසිදු උපකරණයක් පිළිබඳ තොරතුරක් නොලැබිණි.

      හුදෙකලාව ප්‍රිය කරන අගමැතිවරයාට මේ කාරණය අතිශය කරදරයක් බවට පත් වූයේ, ඔහුගේ මුවින් කිසිවක් නොකීවත් ඒවා විදෙස් රටවලට දැන ගැනීමට ලැබීමයි. ඔහුට තම බිරිඳ හා දරුවන් සමඟද විවෘතව කතා කළ නොහැකි විය. දින කිහිපයක් යනතෙක් ඔහු තම පුද්ගලික සහ රාජකාරි කටයුතුවලදී කිව යුතු දේ කොළවල සටහන් කරමින් ඉදිරිපත් කළේය. එහෙත්, කේමා දේශයේ අසල්වැසියා ලෙස සිටිමින් එය කොතරම් දුරට කළ හැකිද? එක්වරම පුවතක් පැතිර ගියේ කනිකා දේශයේ අගමැතිවරයා අසනීපයකින් මරණාසන්න වී ඇති බවයි; කතා කිරීමටවත් බැරි තත්ත්වයක සිටින බවයි.

      මොහොතකට කලින් අගමැතිවරයා ගැන කියැවුණු දෙයින් කලබලයට පත් වූ දොස්තර පියරී තේරුම් ගෙන තිබුණේ සමහර විට අගමැතිවරයා දේශද්‍රෝහියෙකු ලෙස සලකා ඔහුගේ පුද්ගලික ලේකම්වරයා වන නායර් ඔහු සිරකරුවෙකු බවට පත් කොට ගෙන තම රෝහලට රැගෙන විත් හොර රහසේම ඝාතනය කර දමන්නට තැත් කළ බවයි. එහෙත්, මේ කරුණු දැන ගැනීමෙන් පසුව ඔහුට ඒත්තු ගියේ අගමැතිවරයාට දේශද්‍රෝහී චෝදනාව එල්ල කෙරී ඇත්තේ සිතා-මතා නොවන බවයි. එමෙන්ම මේ ‘විචිත්‍ර රෝගයට’ හේතු වූ කාරණය ඔහුගේ සිරුරේ කිසියම් තැනක සඟවා ඇති උපකරණයක් බවද පැහැදිලිය. ඔහුගේ වගකීම වී ඇත්තේ එම සියුම් උපකරණය තිබෙන තැන සොයා ගෙන එය අගමැතිවරයාගේ සිරුරෙන් ඉවත් කිරීමේ කාර්යය ඉටු කිරීමයි.

      රෝගය සහ එයට අවැසි ප්‍රතිකාරය ගැන වටහා ගැනීමෙන් පසු ඔහු අගනුවර දොස්තරවරුන් විසින් අගමැතිවරයාගේ සිරුරෙන් ලබා ගන්නා ලද එක්ස්-රේ ඡයාරූප රැගෙන එන ලෙස නායර් මහතාගෙන් ඉල්ලා සිටියේය. එහි එක්ස්-රේ ඡායාරූප සිය ගණනක් තිබෙන බව ඔහු දුටුවේය. සිරුරේ විවිධ කොටස්වල, විවිධ කෝණවලින්, විවිධ දිශාවලින් ගන්නා ලද එම එක්ස්-රේ ඡයාරූප අති සියුම් ලෙස පිරික්සීමෙන් පසුවද දොස්තර පියරීට සිරුර තුළ සඟවා ඇති කිසිදු උපකරණයක් සොයා ගත නොහැකි විය.

      දොස්තර පියරීගේ මතකයට එක්වරම පැමිණියේ වරක් යුරෝපයේ ඇති වූ යුද්ධයකදී එක්තරා ආබාධිත රහස් ඔත්තුකරුවෙකු අත්අඩංගුවට ගත් ආකාරයයි. ඔහුගේ එක් පාදයක් ලීයෙන් සකසා තිබිණි. එම ලී කකුල තුළ සවි කළ උපකරණයක් මඟින් වෙනත් රටවලට තොරතුරු යැවිය හැකි විය. එහෙත්, අගමැතිවරයාගේ සිරුරේ කිසිදු කෘත්‍රිම අවයවයක් පෙනෙන්නට නැත. එමෙන්ම කිසි දිනෙක ඔහුගේ සිරුරේ ශල්‍යකර්මයක්ද සිදු කොට නැත.

      අවසානයේදී ඔහු එක්ස්-රේ ඡායාරූප සියල්ල පසෙකින් තබා අගමැතිවරයා මුණ ගැසීම පිණිස විශේෂ වාට්ටුවේ ඇති කාමරය වෙත ගියේය. අගමැතිවරයාගෙන් ප්‍රශ්න ඇසීමත්, ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දීමත් සිදු කළ නොහැක. එහෙත්, ලියා දෙනු ලබන ප්‍රශ්න කියවා බලා ඒවාට පිළිතුරු ලියා දීම කළ හැකිව තිබිණි.

      ඔහු නායර් මහතා සමග අගමැතිවරයා සිටි ඇඳ අසලට ළඟා විය. ඔහුගේ ආචාර කිරීමට ප්‍රති උත්තර වශයෙන් අගමැතිවරයා කළේ ඔහුගේ දෑස් දෙස එක එල්ලේ බලා සිටීමය; එම ඇස්වලින් කියැවුණේ ‘මගේ මේ සිරුර කෙතරම් අපවිත්‍රද!’ යන්නයි. ඔහුගේ ඇස්වල දිදුලමින් තිබුණු ඒ අමුතු දීප්තිය කියා පෑවේ ඔහුගේ නිර්දෝෂී භාවයයි. එක්තරා අදෘශ්‍යමාන මනුෂ්‍යයෙකු මෙන් තම අපවිත්‍ර ශරීරය තුළම ඔහු සිරකාරයෙකු බවට පත් වී සිටියේය. එම සිරගෙයින් ඔහු මුදාගෙන නිදහසක් ලබා දෙන්නට උත්සාහ කරන දොස්තර පියරී දෙස ඔහු බියෙන් බලා සිටියේය. ඔහු තුවාල වුණු ගොළු තිරිසනෙකු සේ දිස් විය.

      දොස්තර පියරී එහි තිබුණු මේසයක් අසල හිඳ ගනිමින් කොළයක් සහ පැන්සලක් අතට ගෙන ඉතා සෙමින් ලියන්නට පටන් ගත්තේය.

      ‘මම ඔබෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා. කරුණාකර ඒවාට උත්තර ලියා පෙන්වන්න.’

අගමැතිවරයා ඇස්වලින් එය පිළිගත් බව ඇඟෙව්වේය. ඔහු නැඟිට ඉදිරියට පැමිණ මේසය අසල වූ වෙනත් පුටුවක හිඳ ගනිමින් ලියන්නට පටන් ගත්තේය.

      ‘මගේ මුළු දවසම ගෙවිල යන්නෙ මගේ සිරුර අසල ඇසෙන කටහඬවල්වලින් බේරී සිටීම      වෙනුවෙන්. ඒ කටහඬවල්වලින් විදේශීය රහස් ඔත්තුකරුවෝ මගේ ක්‍රියාකාරකම් පිළිබඳව     තොරතුරු ලබා ගන්නවා. බේරීම සඳහා කරන මේ හැම උත්සාහයකින්ම සිද්ද වන්නේ මා       රෝගියෙක් බවට පත් කරන එකයි. ඒ කියන්නෙ, ඉස්සර ඉඳලම මම මගේ හැම කටයුත්තක්      ගැනම සැලැස්මක් හදන්න පුරුදු වෙලා හිටියා. මේ විදියට මගේ කාලය රටට සේවය කරන්න    වැය කරන්න ඕනෙ. ඒත්,  අද මං කරන්නෙ මගේ ඇඟ නිසා සිද්ද වෙන හානිය අවම කරගෙන         රට බේරා ගන්න ජීවත් වෙන්නයි.’ 

      දොස්තර පියරී ලියන්නට පටන් ගත්තේය.

      ‘ඔබතුමාට ඇති වෙලා තිබෙන අවුල් සහගත තත්ත්වය මට පැහැදිලියි. මේ ඔක්කොම කේමා            රටේ විද්‍යාඥයන්ගෙ වැඩ තමයි කියල මට වැටහුණා.’

      ‘මේක අපේ රටයි කේමා රටයි අතර ඇති වෙලා තියෙන බොහොම පුළුල් වගේම විසාල         සතුරුකමේ ආදීනවයක්. එකට එකතු වෙලා අසල්වැසියො හැටියට කටයුතු කරනව වෙනුවට         අපි එකිනෙකාට සතුරුකම් කර-කර හිටියා. මේක ඒකෙ ප්‍රතිඵලයක්.’ අගමැතිවරයා ලියා පෙන්නුවේය.

      දොස්තර පියරී ලියන්නට පටන් ගත්තේය.

      ‘ඒත් කනිකා වගේ පුංචි රටක් අර විසාල අසල්වැසි රට තරමටම විරුද්ධකම් නොකළා නං, අද         වෙනකොට කනිකාවක් ඉතුරු නොවෙන්නත් ඉඩ තිබුණා. කේමා රටේ අය අපිත් එක්ක අදත්             මිත්‍ර-ගිවිසුම් ඇති කර ගන්න උනන්දු වෙනව. ඒ මොකද අපි ඒ අයගෙන් කවදාවත් කරුණාවක්      ඉල්ලපු නැති හින්දා. ඒ අයගෙන් පිහිට පතන එක අපිට හුඟක් වියදම් යන වැඩක්. කව්රු හරි පරණ දේශපාලනඥයෙක් කියල තියෙනව… අනන්තර් ප්‍රකෘති ශත්‍රැඃ කියල. ඒ කියන්නෙ      අසල්වැසි රටවල් ස්වභාවයෙන්ම එකිනෙකාට විරුද්ධයි කියන එකයි.’ 

      ‘ඒක හරි.’ අගමැතිවරයා ලියාගෙන යයි_

      ‘මේක කිව්වෙ චාණක්‍ය. ඒ විද්වතා මෙන්න මෙහෙමත් කියල තියෙනව, නාතප්ත ලෝහෝ ලෝහේන සධීයතේ කියල. ඒ කියන්නෙ හොඳට රත්වෙච්ච යකඩ දෙකක් තමයි එකතු කරන්න             පුළුවං කියන එක. අපි අසල්වාසී රටවල් දෙක එකිනෙකාට විරුද්ධව ප්‍රබල ප්‍රතිවිරෝධයක් තියා             ගත්තෙ නැත්තං අපි අතරෙ ගිවිසුමක් ඇති කර ගන්න ඕන වෙන අර ගිනියම් ස්වභාවෙ එන්නෙ        නෑ.’ 

      දොස්තර පියරී ලියයි_

      ‘ඔබතුමා කියන දේ හරි. මං විශ්වාස කරන්නෙ මේ වාරෙ ඔබතුමාගෙ සරීරෙ රේඩියෝ          තරංගයක් බවට පත් කරල තොරතුරු ලබා ගන්න මේ අශිෂ්ට වැඩේ සැලසුම් කළේ ඒ අය. අපි      ඒ අයගෙන් ඒකට ගැළපෙන විදියට පළිගන්න ඕනෙ.

      අගමැතිවරයා ලියයි_

      ‘කියල තියෙන විදියට මගේ සරීරෙට ජීවත් වෙන්න පුළුවං. ඔබට තේරෙනව මගේ ඇඟෙන්    රේඩියෝ ට්‍රාන්ස්මීටරේක වැඩ ගන්න හැටි.’

      අගමැතිවරයා මේ කාරණය බොහෝ මධ්‍යස්ථ ආකාරයෙන් සහ කිසිදු ලාලසාවකින් තොරව කියූ දෙයක් බව දොස්තර පියරී තේරුම් ගත්තේ, තමාට මෙවැනි අනතුරක් වීමට ඇති ඉඩක් පිළිබඳ කිසිදු හැඟීමක් ඔහුට නොතිබුණද, ඔහු මෙවැනි හදිසි අවස්ථාවකට හොඳින් සූදානම් වී පැමිණියා සේ පෙනී ගිය බැවිනි.

      දොස්තරගේ ඇස්වල තිබුණු හැඟීම් තේරුම් ගත් අගමැතිවරයා දිගටම ලියාගෙන ගියේය.

      ‘ඔය රේඩියෝ උපකරණය මගේ ඇඟේ කිසිම අවයවයක හරි මස් පිඬුවක හරි නැති බව මට තේරෙනව. රාඩාර් යන්ත්‍ර මඟින් සියුම්ව පරීක්ෂා කරල විද්‍යාඥයො හොයා ගත්තා මගේ ඔළුව ළඟ ඉඳං කියන දේවල් තමයි රේඩියෝ තරංග විදියට එළියට යන්නෙ කියල. ඒ හින්ද මං හිතන             විදියට මගේ මොළේ ඇතුළට තමයි මේ උපකරණය දාල තියෙන්නෙ. සමහර විට මොළේ         තියෙන සියුම් ඉලෙක්ට්‍රොනික තත්ත්වවලට සම්බන්ධ පර්යේෂණවලින් ඒ රටේ අය අපිව    පරද්දලයි තියෙන්නෙ. ඒ කියන්නෙ,  ඒ සියුම් තැන් ගැන අපේ විද්‍යාඥයො කිසි දෙයක් දන්නෙ          නෑ. ඒත්, මගේ මොළේ ඇතුළෙ කිසි විදියක බර ගතියක්, අසාමාන්‍ය තත්ත්වයක් නං මට          දැනෙන්නෙ නෑ.’

      දොස්තර පියරී මේ කරුණ දැන ගැනීමෙන් පසු කිසියම් සැහැල්ලුවක් ඇති වූයේ රාඩාර් විද්‍යාඥයන් විසින් සොයා ගන්නා ලද පරිදි එය එසේ නම් මොළය තුළ කිසියම් අසාමාන්‍ය තත්ත්වයක් ඇති විය යුතුය යන නිගමනයක් සිදු කර ඇති නිසාය. මෙයින්, ඉදිරියට ඇති කටයුතු සරල සහ සීමාසහිත වන බව ඔහුට දැනිණි. දැන් ඔහුට මුළු සිරුරම ගැන ප්‍රශ්න කිරීම පසෙක තබා අගමැතිවරයාගේ හිස සහ මොළයේ අවයවවලට අදාළව තම පරීක්ෂණ සිදු කිරීමට හැකි වනු ඇත.

      ඒ අවස්ථාවේදී ඔහුට තවත් ක්‍රමවේදයක් කල්පනාවට ආවේය. එනම්, ඉදින් රේඩියෝ තරංග නිපදවන කිසියම් උපකරණයක් අගමැතිවරයාගේ හිසට ඇතුල් කර ඇත්නම්, එය සෙවීම සඳහා ‘ගිගා-කවුන්ටර්’ යන උපකරණය භාවිත කොට එය පහසුවෙන් සොයා ගත හැකි වනු ඇත. ඒ උපකරණය මේ රෝහලේ තිබුණු බව ඔහුට මතකය. ඒ මොහොතේම එය ගෙන්වීම සඳහා වහාම සීනු බොත්තම එබීමට උත්සාහ කළේය. මෙය සිදු කරද්දී අගමැතිවරයාගේ හිස අසලම සීනුව නාද කරවීමෙන් ඈතක සිටින රහස් ඔත්තුකරුවන්ට අගමැතිවරයා දැන් සිටින තත්ත්වය පිළිබඳව තොරතුරු දැන ගැනීමට ඉඩකඩ ලැබෙන බව ඔහුගේ කල්පනාවට නොආවේය.

      සීනු බොත්තම මත තැබූ දොස්තර පියරීගේ අත මත තම අත තබා තද කරගෙන සිටියදීම අගමැතිවරයා ලියන්නට පටන් ගත්තේය.

      ‘ඔබට කිසියම් අලුත් අදහසක් ඇති වුණාට පස්සෙ මට ඇති වෙලා තියෙන මේ අපූරු තත්ත්වය         අමතක වෙන්න ඇති. ඇයි, කාට හරි සේවකයෙකුට කතා කරන්න යනවද? කමක් නෑ, කලබල     වෙන්න දෙයක් නැහැ. මේ සීනුව වදින එකක් නෑ, මිස්ට නායර් මේක කලින්ම විසන්ධි කරලයි             තිබුණෙ. කියන්න ඔබට මොනවද ඕන?’

      දොස්තර පියරී ලියන්නට පටන් ගත්තේය.

      ‘කලබල වෙලා ඔබතුමාගේ තත්ත්වය අමතක වෙලා බෙහෙත් කවලම් කරන සේවකයෙකුට අඬ      ගහන්න යෑම ගැන මට ලැජ්ජ හිතෙනව. මම ගිහිං ඒ උපකරණෙ අරං එන්නං. සමහර විට         ඒකෙන් හංගල තියෙන රේඩියෝ උපකරණය ගැන හෝඩුවාවක් ලබා ගන්න පුළුවං වේවි.’ දොස්තර පියරී කාමරයෙන් පිට වී ගියේය.

      මඳ වේලාවකට පසු පැමිණ දොර විවෘත කරන අතර කාමරයෙන් පිටත බිත්තියේ එල්ලා තිබූ දැන්වීම කියවද්දී ඔහුට සිනා පහළ විය. එහි ලියා තිබුණේ ‘මේ කාමරයේ සිටින රෝගියා මුණ ගැසීම සපුරා තහනම්ය. රෝහල් කාර්ය මංඩලයේ අය වුවද වෛද්‍යවරයාගේ අනුමැතියකින් තොරව ඇතුළට නොයා යුතුය.’ මන්ද යත්, මෙවැනි දැන්වීමක් එල්ලා තබන්නේ අතිශය භයානක බෝවන රෝගයක් වැලඳුණු අයෙක් සිටින විටදීය.

      ‘ගිගා-කවුන්ටර්’ යන්න තමෝ මීටරයක හැඩය ඇති උපකරණයකි. එහි ඉහළ කොටසේ එක්තරා විනිවිද පෙනෙන වීදුරුවක් තුළ වූ මීටරයක් සවි කොට තිබිණි. එය අගමැතිවරයාගේ සිරුරේ විවිධ අවයව අසලට ගෙන යමින් දැන ගැනීමට උත්සාහ කළේ එහි කටුව සෙලවෙන්නේද යන්න බැලීමටය. ඉන්පසු එය හිසෙහි ඉදිරිපස සහ පිටුපස නාස්-පුඩු, කන් අසල තබමින් දොස්තර පියරී සොයා ගත්තේ මීටරයේ කටුව මුහුණේ වම් හකුඇටය ආසන්නයේදී තදින් සෙලවෙන බවයි.

      දත් දෙසට අවධානය යොමු කරමින් සංකේත බසින් අගමැතිවරයාගෙන් දොස්තර පියරී විමසුවේ ‘කොයිම හරි වෙලාවක දතක් ගලවල දැම්මද? නැත්තං කෘත්‍රිම දතක් කටේ හයි කළාද?’ යන්නයි.

      අගමැතිවරයා ලියන්නට පටන් ගත්තේර්‍ය 

      ‘මගේ දත් ඔක්කොම හොඳයි. එකක්වත් කැඩිල නෑ.’

      එක්වරම ඔහුගේ මතකයට ආවේ විදේශගත වී සිටි අවධියේදී දත්වල ඇති වූ වේදනාවක් නිසා දන්ත වෛද්‍යවරයෙකු වෙත ගිය බවය. ඒ මොහොතේම ඔහු වහාම එම කරුණ කඩදාසිය මත සටහන් කළේය.

      එම පැහැදිලි කිරීමත් සමගම දොස්තර පියරීගේ කලින් තිබුණු ස්වභාවය වෙනස් වී ඉමහත් සතුටට පත් වූ බවක් පෙනෙන්නට විය. ඔහු ලියන්නට පටන් ගත්තේර්‍ය 

      ‘සමහර විට ඒ දන්ත වෛද්‍යවරයා ඔබතුමාට අහවල් දවසෙ, අහවල් වෙලාවට එන්න කියන්න       ඇති නේද?’

      ‘ඔව්.’ උත්තරය ලිඛිතව ලැබිණි.

      ‘ඒ දොස්තර ඔබතුමාගෙ දත් සුද්ද කළාද?’ දොස්තර පියරී කඩදාසියේ ලියා විමසුවේය.

      ‘ඔව්.’ ලිඛිතව උත්තරය ලැබුණේය.

      දොස්තර පියරී ලියන්නට පටන් ගත්තේර්‍ය

      ‘ඔහු සමහර විට මෙහෙම කියන්න ඇති… ඔබතුමාගෙ එක දතක සිදුරක් තිබුණා, මං ඒක පුරවල    දැම්මා… කියල.’

      දැන් පිළිතුරු ලිවීමේ අවශ්‍යතාවක් නැත. අගමැතිවරයා පුටුවේ සිට උඩ පැන්නේය. නිසැකවම එම දතේ තිබූ කුඩා සිදුරෙහි කේමා දේශයේ විද්‍යාඥයන් විසින් රේඩියෝ ට්‍රාන්ස්මීටරයක් සවි කරන්නට ඇති බව ඔහු තේරුම් ගත්තේය.

      වරින්වර තම ඇඟිලි හක්ක දෙසට යොමු කරමින් අගමැතිවරයා කියන්නට උත්සාහ ගත්තේ ‘සොරා’ ඔහුගේ ‘හකු දතෙහි’ සැඟවී සිටින බවයි.

      මඳ වේලාවකට පසු දොස්තර පියරී තම ශල්‍යාගාරයේ දත් පිරිසිදු කිරීමට අවැසි සියලු උපකරණ සූදානම් කොට අගමැතිවරයා එහි කැඳවා ගෙන යන්නට පැමිණියේය. අගමැතිවරයා ලියන්නට පටන් ගත්තේර්‍ය

      ‘දතේ සිදුර වැසීමට දමා ඇති බදාමය ඉවත් කරන්න අවශ්‍ය නැහැ, මුළු දතම ගලවල දාන්න.            ඒ උපකරණෙට හානියක් නොවෙන්න ඒක එළියට අරගන්න. ඒකෙන් අපේ විද්‍යාඥයන්ට පුළුවං    ඒ වගේ උපකරණයක් හදන්නෙ කොහොමද කියල ඉගෙන ගන්න.’

      දොස්තර පියරී ලියන්නට පටන් ගත්තේර්‍ය

      ‘ඒත් ඔබතුමාට ඔබතුමාගෙ එක හකු දතක් අහිමි වෙනවා. ඒ ‘ග්‍රයින්ඩර් දත’ අතිශය වටින දතක්.     ඒක නැතුව ඔබතුමාට කෑම හපන්න අපහසු වේවි.’

      අගමැතිවරයා ලියන්නට පටන් ගත්තේර්‍ය

      ‘මං මගේ එක දතක් නැති කර ගන්න සූදානම්. මට ඒක ලොකු දෙයක් නෙමෙයි. මට මෙහාට එද්දි බයක් තිබුණා මට මගේ ‘ඔළුව’ නැති වෙයිද කියල! ‘ඔළුව’ බේරුණා දැං ඉතිං ‘දතක්’ නැති   කරගන්න එක මොන කජ්ජක්ද!’

  https://swanbooks.lk/2024/09/01/%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A-%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA/



Nissanka Rajapaksa

unread,
Jul 2, 2025, 8:02:25 PMJul 2
to INDRAKA group
45ත
මරණයේ එළිපත්ත

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ

ත්‍රිරෝද රථය ගුණසේන සාප්පුව ඉදිරිපිට නතර කළේ ය. ඉන් බැස ගොස් පොත් කිහිපයක් මිලට ගත් රංසිකා ලහිලහියේ බස් නැවතුම් පොළ වෙත පියවර තැබුවා ය. වීදි වෙළෙන්දෝ පදික වේදිකාව අහුරාගෙන වරින්වර කෑ ගසන්නට වූහ.

“කෑල්ලකට රුපියල් පනහ ගානේ දෙන්න මහත්තය. පාන් බාගයක් බනිස් ගෙඩියක් කාල විතරක් මේ රස්සාව කරන්න බෑ.”

බඩු රැගෙන යන නාට්ටාමිවරයෙක්, වෙළෙන්දකු සමග හෙට්ටු කරමින් කතා කළේ ය. තම කළු පැහැති ගමන් මල්ලත් රැගෙන රංසිකා පෞද්ගලික බස් නැවතුම් පොළට සේන්දු වූවා ය. පාවෙන වෙළඳපොළ දෙස සිට වරින්වර හමා එන සුළඟට මුසුව ඩීසල්, මත්පැන් හා මුත්‍රා ගඳින් නාසය පසාරු කරගෙන යන බව ඇයට දැනුණි.

ඉදිරිපස කඩ පෙළ අතරෙහි සිර වූ ලොතරැයි කුටියේ ශබ්ද පූජාව රංසිකා සිටි ස්ථානයට හොඳින් ශ්‍රවණය විය. ඒ කර්කශ ගී නාදය පරදවමින් ගිලන් රථයක නොනවතින නලා හඬ ඕල්කට් මාවත දිගේ ඉහළට ගියේ ය. බොහෝ වේලාවකට පසු පැමිණි බස් රථය වේදිකාවට සමීපවන සේ නතර කර රියදුරු ඉන් බැස ගියේය.

“රත්නපුර, පැල්මඩුල්ල, බලංගොඩ, බෙරගල, හපුතලේ, දියතලාව, බණ්ඩාරවෙල, බදුල්ල….. බදුල්ල..” කොන්දොස්තර පාපුවරුවත් වේදිකාවත් අතර සිටගෙන මුරගෑවේ ය.

පෝලිමට පිටතින් පොර බදන මගීන් අතරින් රංසිකා බස් රථයේ පඩි පෙළ ඔස්සේ ඉහළට තල්ලුවී ගියා ය. අසුන ළඟ විවෘතව තිබූ කවුළුව තුළින් හුස්ම හිරකරවන ගඳ බසය තුළට ඇදී ආවේය. ආයාසයෙන් ආශ්වාස කිරීම මැඩපවත්වා ගැනීමට රංසිකා ගත් උත්සාහය අසාර්ථක වූ බව ඇයගේ මුහුණෙන් පිළිබිඹු විය.

ගැනුම්කරුවන් ආකර්ෂණය කර ගැනීම සඳහා තරුණයකු පෙණහළු පුප්පාගෙන කෑ මොර ගසන්නට විය.

“ඇපල්!.. පෙයාස්!.. දොඩම්!”

සමීපයේ වූ කවුළුව හරහා ඈ එම දසුන නිරීක්ෂණය කළා ය. රිද්මයකට කරන ඝෝෂාව ඔහුගේ දෙතොල් අතර රැඳී ගීතයක් මෙන් විය. වම් කොපුල මත රැඳි ඇඟිළි තුඩු සමගින් ඇයගේ අල්ල නිකට යට රැඳුණි. අවුල්වූ හිස කෙස් වම් අතෙන් සකසමින් දකුණු අතින් කූඩයක් ඔසවාගෙන තවත් අයෙකු ඈ සිටි බසයට ගොඩ විය. ඒ තුළ වූ දෑ වරින්වර ඔසවා මගීන් දෙසට යොමු කරමින් ඔහු රංසිකා අසලටම පැමිණියේ ය.

“බැදපු කඩල පැකට් එකක්, කූල් වතුර බෝතලයක්…..පලතුරු බීම එකක් …” ඈ අසලටම පැමිණි ඔහු හඬ බාල කරමින් ඈ දෙසට නැඹුරුවිය. හිස වැනූ රංසිකා ඉවත බලාගත්තා ය.

ඉදිරිපස දත් හරහා දිව අතුල්ලා හකු ලෙවකමින් ඔහු තදින් පිටකළ ඈනුම නිසා දැනුණ දුර්ගන්ධය ඇයට ඇති කළේ ඔක්කාරය යෑමට තරම් අපුලකි. කථාබහෙන් වැළකීමට රංසිකා තව තවත් අසුනේ කෙළවරට ම රූටා ගියා ය.

“ඔයාගෙ බෑග් මෙතනින් තියන්න. මං ඒවා බලා ගන්නම්”

දරුවෙකු වඩාගෙන සිටින තරුණ මවක් බසයට ගොඩවූ සැණින් අසල වූ මැදිවයසේ පුද්ගලයෙකු පවසා සිටියේය. එතැනින් මෑත්වූ කාන්තාව දෙවරක් නොසිතාම රංසිකාට ඉදිරිපසින් වූ අසුනේ වාඩි ගත්තාය. ඇයගේ අතේ සිටින දරුවා අඬන්නට විය. මව මෘදු ලෙස පිටට තට්ටු කරමින් දරුවා අස්වැසීමට උත්සාහ කළාය. දරුවාගේ ඇඬීම වැඩි වූ අවස්ථාවේ පෙරටත් වඩා මව තදින් ළමයාගේ පිටට තට්ටු කළා ය.

රංසිකාගේ සිත අභ්‍යන්තරයෙන් නැගුණ සෙනෙහස වචන වලට පෙරලුනි.

“බබාට බඩගිනි වෙලා වගෙයි නේද?”

ඈ අසුනෙන් මඳක් ඉදිරියට නැමී කාන්තාව වෙතින් විමසා සිටියාය.

“නැහැ…අනේ, මේ මුරණ්ඩුකම”

අපහසුතාවයට පත් කාන්තාව යළි ප්‍රාණවත් ලෙසින් අසුනට බරවූවා ය. කලබලයෙන් මෙන් බසයට ගොඩ වූ රියදුරා අසුන මත හිඳගත්තේ ය. රෙදිකඩකින් සුක්කානම පිසදමා ඉදිරියේ වු දර්පණයෙන් ඇතුළත මගීන් ගැන විපරම් කර බැලුවේය. බුලත්විටකින් මුව පුරවාගත් ඔහු එන්ජිම පණගැන්වීමට උත්සාහ කළේ ය. බසය මුරණ්ඩු විය.

තැරැව්කරුවෝ හතරපස් දෙනෙකු පැමිණ එය ඉදිරියට තල්ලු කළහ. බසය පැන පැන ඉදිරියට ඇදී ගොස් දුම්රොටු පිටකර හැරියේ ය.

පැය භාගයක් පමණ ගෙවීගොස් තිබුණි. එක්වරම ඇයට ඒ වැල් පාලම සිහිපත් වූයේ බසය නුගේගොඩ ගුවන් පාලම මතින් ගමන් කරන අතරතුරදීය. තම ගුරු විදුහල් සගයින් වූ රේණු හා සමන් සමග වත්තෙකැලේ විදුහලට ගිය අසීරු ගමන රංසිකා මදහසින් ආවර්ජනය කළාය.

“ටිකට් ගන්න!… ටිකට් ගන්න”

කොන්දොස්තරගේ දුඹුරු පැහැගත් විකෘති නියපොතුවලින් ඇයගේ ඇඟිලි තුඩු සීරීමට ලක් වුණි. එය හිතාමතා කළා දැයි රංසිකා සිතුවාය. ඇයගෙන් නෝට්ටු උදුරාගත් කොන්දොස්තර නොසැලකිලිමත් ලෙස කුරුටු ගෑ ටිකට් පතක් ඇය වෙත දිගු කළේය. ඇයට ඉතිරිය ලෙස ලැබුණේ කාසි කිහිපයකි. පසුම්බියට ඉතිරි මුදල දැමූ ඈ, යළිත් වරක් ඒවා අතට ගෙන ගණන් කර බැලුවා ය. කොන්දොස්තරගේ ඉතුරු දීම ගැන රංසිකා සෑහීමකට පත්වූයේ නැත. අසල සිටි තරුණයා ඈ දෙසට හැරී කට කොනකින් සිනාසුණේ කොන්දොස්තරගේ මාටියා ගැහිල්ල තහවුරු කිරීමට බව ඇය වටහා ගත්තාය.

මාර්ගය දෙපස දමා ඇති තට්ටු ඉදිරිපිට රෙදිපිළි තෝරන විඩාපත් මිනිසුන් අතරින් බසය මහරගම නගරය පසුකර ධාවනය කෙරුණි. ගමන් වේගය මන්දගාමී විය. නැවතුම්පළ ඉදිරිපිට පිහිටි කුඩා මුවදොර ඇයට දැක ගත නොහැකි විය. නාම පුවරුව වසාගත් ත්‍රිරෝද රථ දෙක අතරින් වූ පෝලිම ටෙලර් මැෂිමේ දොරකඩ තෙක් විය. ඈතින් පිහිටි සුවිසල් ද්වාරය ගුරු විදුහලට යන මග ඉදිකර තිබුණි. කදමලු කරපින්නාගෙන ගම්බිම් බලා යන කිහිපදෙනෙකුම බසයට ගොඩ වූයේය.

බසය ඉදිරියට ඇදීයත්ම හිස හැරවූ ඇයගේ දෙනෙත අසල සිටි තරුණයා ඇඳ සිටි කමිසයේ කොළරය වෙත යොමු විය. එහි ඉහළ කොටස අනෙක් කොටසට වඩා තද පැහැයක් ගත්තේය. ඔහුට යාබදව සම්මතයට නොගැළපෙන ඇඳුමක් ඇඳි තරුණියක් වාඩිවී සිටියා ය. ඇයගේ කලවා කෙටි සායෙන් එළියට පැන තිබුණි. ඇඳුමේ මුල් සැලසුම වෙනස් කර ඇති බව පෙනෙන්නට විය. බසය ගැස්සෙන සෑම අවස්ථාවකම ඇයගේ දෙකනින් එල්ලෙන කරාබු මගින් සැලකිය යුතු ශබ්දයක් නැගුණි. අත් නැති උඩුකය වැස්ම නිසා ඇයගේ දකුණත දිගේ සම මත වූ ලියවැල දැකගත හැකිවිය. පාට මිශ්‍ර කර ගෙත්තම් කර නොතිබුණි නම් ඇයගේ කොණ්ඩ මෝස්තරය වඩාත් ලස්සන වන්නට ඉඩ තිබුණි.

එතෙක් මද වේගයෙන් ධාවනය වූ බසයේ ගමන් වේගය අවිස්සාවේල්ල නගර සීමාව පසුවීමත් සමග වැඩිවිය. එංජිමට ඉහළින් වහලයේ එල්ලා තිබූ රූපවාහිනී යන්ත්‍රය ක්‍රියාත්මක වුණි. තිරය මත සංගීත රිද්මයට වේදිකාවේ නළියන තරුණියන්ගේ දර්ශනය ඈ අවට සිටි මගීන්ගේ දෙනෙත් විවර කිරීමට සමත්විය. ඒ සමගම ඇයගේ වම් කකුල සමඟ අසල සිටි තරුණයාගේ දකුණු කකුල ස්පර්ශ වුණි. වරින්වර සිදුවූ එය අහම්බයක් නොවන බව ඈ වටහා ගත්තාය. ඇයව ස්පර්ශ කරන සෑම අවස්ථාවකදීම ඔහු ඈ සමගින් සිනාසුණේ ය. පසුතැවිලිවීමට අකැමැති බැවින් බොළඳ විහිළුවක් කිරීම හැරෙන්නට රංසිකා හට වෙනත් විකල්පයක් තිබුණේ නැත.

වල්හපුතැන්න නාමපුවරුව පසුවත්ම බසය මාර්ගයේ පසෙකට කර නතර කෙරුණි. රූපවාහිනී යන්ත්‍රය ක්‍රියා විරහිත විය. හැල්මේ ගිය බසයේ හුන් කිහිපදෙනෙකුම ඒ ගැන විපරම් කිරීමට යුහුසුළු වූහ. රංසිකා කවුළුව තුළින් හිස පොවා බලා සිටියාය. බසයට විරුද්ධ පැත්තේ යතුරුපැදියක නැගි පොලිස් නිලධාරියෙකි. කිසිවෙකුහට නොතේරුණු කතාබහෙන් පසු රියදුරු ඊට තරමක් නුදුරින් සිටි පොලිස් නිලධාරියා වෙත යන අයුරු ඇයගේ නෙත ගැටුණි. ඇසුරු සැණින් වේගයෙන් ආපසු දුවගෙන ආ රියදුරා බසයට ගොඩ විය. නලාවේ ශබ්දය දෙවරක්ම පිටවිය. බසය යළිත් ගමන් ආරම්භ කළේය. ඉදිරිපස පාපුවරුවේ එල්ලී සිටි කොන්දොස්තර, මුවගට නගාගත් සිනහව සමග බසයේ පිටුපසට ගමන් කළේය.

දිගු ගමනේ විඩාව සමග නැගී ආ වේදනාවෙන් ඇයගේ දෑස සෙමෙන් සෙමෙන් පියවී ගියේය. දෙ පැයකට පසුව අනපේක්ෂිතව නින්දෙන් අවදි වූ ඈ, තුෂ්නිම්භූතව එදෙස බලා සිටියා ය. පවුරක් සේ නැගි නමුණුකුල වැසී යන්නේ තුනි වළාතීරයකින් ද නැතිනම් දුම් පටලයකින් දැයි නිශ්චය කිරීමට ඈ උත්සාහ කළාය. රෝහල පසුකරමින් වෙලේකඩේ ඉදිරියෙන් ඇදුණ බසය බදුලු නගරයට ළඟාවිය. බසයෙන් බැසගත් රංසිකා ඔරලෝසු කණුව ඉදිරිපිට හෝටලයට ගොඩ වූවා ය. දැඩි පිපාසය සංසිඳුවා ගැනීමෙන් පසු ඉවතට පැමිණි ඈ අසලට දුවගෙන ආවේ, කුඩා පිරිමි ළමයෙකි.

“නෝනා… ගන්නවද? එකක් පනහයි. ”

හඳුන්කූරු පැකට්ටුවක් දිගුකර පෙන්වූ ළමයා ඈ දෙස බලා සිනාසුණේය. මඳ වේලාවකින් රුපියල් පනහක නෝට්ටුවක් ද අතැතිව ළමයා මාර ගස යට වෙළඳාම් කරන මැදිවියේ කාන්තාව අසලට දිව ගියේය. එක්වරම ගසේ සිටි රිලවකු බිමට බැස ගොඩගසා තිබූ ඉරිගු කරලක් ඩැහැගෙන ක්ෂණයෙන් ගසට නැංගේ ය. ගල් කැටයක් අහුලාගත් ළමයා ඒ දෙසට දමා ගසන අයුරු බලා සිටි රංසිකා ගමන් මල්ල ඔසවාගෙන බස් නැවතුම වෙත ඇවිද ගියාය.

දුර්වර්ණ වූ තම ගමන් මල්ල බස් නැවතුම් පොළේ සිටින අනෙක් පුද්ගලයින්ගේ ගමන් මලු සමග සැසඳූ රංසිකා ලැජ්ජාවට පත්වූවා ය. එහි රැගෙන ආ තම ඇඳුම් ඒ පැහැය ඉක්මවා යතැයි ඈ අනුමාන කළා ය. හිස ඔසවා බැලූ ඇයගේ දෑසට පෙනුණේ කුණු කන්දකි. කලක් සුන්දරව පැවති කුඩා නගරයේ තැන තැන පලතුරු කුණු වී ගොඩගැසී තිබුණි. පොදු වැසිකිළිය පිටුපසින් පිටවන අප ජලයේ දුගඳ අවට සිසාරා පැතිරීණි. වැසිකිළිය නැරඹීමට ඇති අවස්ථාව මග හැරීම නිසා රංසිකා තම හිස් බඩට කෘතඥ වූවා ය.

විනාඩි කිහිපයකට පසු පානදුර සිට පැමිණි කැටවත්ත බස් රථය රංසිකා සිටි පෝලිම ඉදිරිපිට නතර කෙරිණි. බසයට ගොඩ වූ රංසිකා එහි අසුනක කවුළුවට සමීපව වාඩි වූවා ය. මගීන් කිහිප දෙනෙකුම වරින්වර එබිකම් කර බැලුවේ දුවගෙනවිත් බසයට ගොඩ වූ ගැහැනු ළමුන් තිදෙනාගේ කතා බහ දෙස ය. ඇතැම් විටක ඔවුන්ගේ මේ දඟකාර සුහදතාවයේ විලාසය ඔවුන් අපහසුතාවයට පත්කළා විය හැකිය. ඔරලෝසු කණුව පස්වරු තුන දැක්වීය. විනාඩි දහයකට පසුව බසය ගමන් ඇරඹුවේය.

කුඹුරු යාය මැදින් බස් රථය ඉදිරියට ධාවනය විය. වරෙක හුදෙකලා වන වදුලේ සිසිල් සෙවන බස් රථය වැළඳ ගත්තේ ය. ඉහින් කනින් දාඩිය වැගිරෙද්දි ටිකින් ටික අහස දඩබ්බර වන බවක් ඇයට දැනුණි. කවුළු තුළින් ඇදී ආ වියළි සුළඟින් ඇයගේ හිසකෙස් විසිරී යන්නට විය. මීගහකිවුලෙන් හැරී ධාවනය කෙරුණු බසය කළුගහකඳුරට හැරෙන මංසන්දිය පෙනෙන මානයට ළඟා විය.

“ඉස්සරහ හෝල්ට් එකේ බහිනවා” යැයි වියළීගිය දෙතොල් විවර කර දුබල හඬින් රංසිකා පැවසුවාය. දූවිලි නැගෙන පටු අතුරු පාර දිගේ ගාට ගාට ඇවිද ගිය ඈ නිවසට ගොඩ වනතෙක් කිසිවෙකු නොදුටු වේය.

“කිරි අප්පේ උඹ එනව කියල අමතක වුණා මට”

තම විඩාව සමනය කරගැනීමට ඇයට අවශ්‍ය වූවාය.

“අද මට හරි තෙහෙට්ටුයි..අම්මේ…”

ඇස් යට කැක්කුම සමගින් අධික නිදිමත ගතියක් ඇයව වෙළාගත්තේ ය. ඇඳි පුටුවට බරවූ සැණින් වමනය යන්න එනවිට මුව තුළ දැනෙන පිළිකුලක් ඇයට ඇති වූවාය.

“එකදිගටම බස් එකේ නෙ.. වෙනිවැල් ගැටයක් තම්බල බිව්වම ඇරිලා යයි.”

ඇයගේ හිස පිරිමදිමින් සිරියලතා පැවසුවා ය.

ඇයට හුරුපුරුදු කෙනෙකුගේ නිහඬ සමුගැනීමක කනගාටුදායක ආරංචිය ඇසූ සිරියලතා අල්ලපු ගෙදරට දිව ගියාය. හඬා වැලපීම් සහ කෑගැසීම් මධ්‍යයේම රාත්‍රියේ විදුලිය කප්පාදු කෙරිණි. ගම්වැසියන්ගේ ලෝකය එදින සම්පූර්ණයෙන්ම අඳුරට ඇද වැටුණි. තමාගේ හදවත වේගයෙන් ගැහෙන බව සිරියලතාට දැනුණි. අඳුරේම ඈ ආපසු නිවසට පැමිණියා ය.

රංසිකාට වමනය විය. දැඩි හිසරදයක් ඇතිබව කෙඳිරි හඬින් සිරියලතා වෙත පවසා සිටියාය. සොහොයුරාගේ හාස්‍යජනක වදන්වලට රංසිකා ප්‍රතිචාර දැක්වූයේ නැත.

“උඹ කෝලිත්තම් නොකර හිටහන් පුතේ” සිරියලතා තරමක් උස් හඬින් පවසා සිටියාය.

රංසිකාට දැනුණේ තමාගේ මුළු සිරුරම කකියන බවකි. ඈ වේදනාවෙන් කෙඳිරිගාන්නට වූවාය. අතපය සොලවා ගැනීමට අපහසුබව දැනුණෙන් ඈ බිම වැතිර වකුටු වූවා ය. කලබලයට පත්ව නිවසින් පිටව ගිය ජයලාල් ත්‍රීරෝද රථයක් රැගෙන ආපසු පැමිණියේ ය. තම දියණියගේ ජීවිතය රැඳී ඇත්තේ දෙවියන් අත පමණ යැයි ඈ විශ්වාස කළාය. කුඩා වෙමින් පැවති පහන් තිරය ඔසවා සිරියලතා පහන් පැල ඉදිරියේ වැඳ වැටුණි. ඝන අඳුර යාන්තමින් පලවා හරිමින් ත්‍රීරෝද රථය ඉදිරියට ඇදී ගියේය.

රෝහල නේවාසික කඳවුරක් බවට පත්ව තිබුණි. මෙට්ට සහ බ්ලැන්කට් මත කෙඳිරිගාන රෝගීන් වාට්ටුවට ඇතුළුවන තැන සිටම සිටියේය. තවත් කෙනෙකුහට ප්‍රමාණවත් ඉඩකඩක් ලබාගැනීම ගැන විශ්වාස කළ නොහැකි විය. සුසාන භූමියක භයානක දර්ශනයක් නොදකින්නට රංසිකා අදිටන් කර ගත්තාය. ඒවන විටත් පැවති එකම ගිලන් ඇඳ ඇයට ලැබුණි. කාර්ය බහුල සොහොයුරියන් අතුරින් ඈ අසලට පැමිණි හෙදිය රුධිර සාම්පලයක් රැගෙන නික්ම ගියාය. ඇඳ මත දිගාවී සිටි රංසිකාට ඔවුන් තිදෙනාගේ ළමා කාලය සිහිපත් වූවා ය. ඒ ලෙන්ගතු මුහුණු ඈ ඉදිරිපිට අපැහැදිලි ලෙසින් දර්ශනය විය. ත්‍රීරෝද රථය පැදවූ සමරකෝන් සමඟ ජයලාල් කරන කතාබහ රංසිකාට යාන්තමින් ඇසුණි.

“චිකුන්ගුන්යා වගේ… ලු.. බං.”


https://www.divaina.lk/features/13783

Nissanka Rajapaksa

unread,
Jul 3, 2025, 8:17:17 PMJul 3
to INDRAKA group
46
ජීවිතය අමතක වෙලා ගියොත් ....? 

- මංජුල සේනාරත්න 

"උඹ හිතන්නේ මොකද ..? වැඩිය හොඳ ඇල්සයිමර් ලෙඩේ හැදෙන එකද .? පාර්කින්සන් ලෙඩේ හැදෙන එකද ...? " අකිල ඇහුවා . මේ වගේ ප්‍රශ්න අහන නිසා තමයි මම ඌට අකිල ගොනා කියලා කියන්නේ .

අපි දෙන්නා සිකුරාදා හැන්දෑවේ පුරුදු බියර් වීදුරු තොල ගාමින් පුරුදු අවන්හලේ ටෙරාසයේ පුටු දෙකක ඉඳගෙන ඉදිරියෙන් ගමන් කරන ප්‍රංශ කාරයින්ගේ ආඩම්බර මුහුණු විශ්ලේෂණය කරමින් හිටියා .
"යකෝ තොට පිස්සුද ..ඔය කොයි ලෙඩෙත් මහ කරුම ලෙඩ . කොයි එක හැදුනත් විනාසයි ..."
"එහෙම කියන්න එපා. මම නම් කැමතියි පාර්කින්සන් හැදෙනවා නම් .."
"ඒ මොකද ..? "
"ඇල්සයිමර් හැදුනාම අමතක වෙනවා . පාර්කින්සන් හැදුනාම අතපය පණ නැතුව යනවා . අතපය වෙව්ලන්න ගන්නවා ..."
"ඉතිං ..?"
"ඉතිං බං ..පාර්කින්සන් හැදුනොත් අමාරුවෙන් හරි විස්කි වීදුරුව අල්ලාගෙන බොන්න පුළුවන් . ඇල්සයිමර් හැදුනොත් ඊයේ බෝතලේ තිබ්බ තැන අමතක වෙනවා . කොටින්ම තමන් බොනවද කියන අමතක වෙනවා ..." මම අකිලයා දිහා බලාගෙන හිටියා . හිනා යන්න ආවත් නවත්ත ගත්තා . මේ වගේ ගොං කතා ඌ හදලා කියනවද , කාගෙන් හරි අහන්ගෙන ඇවිත් කියනවද කියලා තේරුම් ගන්න අමාරුයි .

අකිලයා මේ කතාව කිව්වේ හේතුවක් නිසා . අපි දෙන්නා වාඩි වෙලා හිටපු මේසෙට එහා මේසෙට වාඩි වුණු මැදිවියේ මහත්මයාගේ ඇගිලි වෙව්ලනවා අපි දැක්කා . ඇගිලි විතරක් නෙමෙයි . අතත් වෙව්ලනවා . මිනිහා දිහා බලාගෙන ඉඳලා තමයි අකිලයා අර කතාව ඇහුවේ . එයා පාර්කින්සන් රෝගයෙන් පෙළෙනවා වෙන්න ඇති . පව් අසරණයා . තව පොඩ්ඩකින් මොනවා හරි බොන්න ඉල්ලයි . අත වෙව්ලන නිසා සෑම තැනම හලා ගනියි .
Alzheimer . බය හිතෙන ලෙඩක් . මේ ලෙඩේ මට හැදෙයි කියලා ලොකු බයක් මට තියනවා . මොකද මෑතකදී ඉඳන් මට හුගක් දේවල් අමතක වෙනවා . වයසට යන හින්දා වෙන්න ඇති කියලා මට හිතුනා . සමහර වෙලාවට රෙස්ටුවන්රන්ට් එකේ වැඩ කර කර ඉන්න කොට යමක් ගේන්න ගබඩා කමාරයට යනවා . ගේන්න ගිය දේ අමතක වෙනවා . අනෙක ඇල්සයිමර් හැදිලා මැරුණු දෙන්නෙක් ව මම දන්නවා . එක් කෙනෙක් අපේ ආච්චි . අනෙක් තැනැත්තා නෙල්සන් .

මම හැදුනේ ආච්චි එක්ක . ආච්චිට වද දුන්න එක තමයි මම වැඩිය කෙරුවේ . "පුතේ එලාම් එක තියන්න උදේ පහට .." පෝයට සිල් ගන්න යන්න නැගිටින්න ඕන වුණාම ආච්චි මට කියනවා . මම උදේ පහ වෙනුවට පාන්දර එකට එලාම් එක තියනවා . ඒ වෙලාවට පන්සල වහලා . දවසක් පාන්දර එක හමාරට සුදු ඇඳගෙන ආච්චි පන්සලට ඇතුළු වෙනවා දැකලා හොල්මනක් කියලා ලොකු හාමුදුරුවෝ බය වෙලා . තොවිල් කරළා තමයි බේර ගෙන තියෙන්නේ . පස්සේ කාලෙකත් සමහර වෙලාවට බණ කියන ගමන් මහ හයියෙන් දොඩවන ගතියක් තිබ්බලු . 

මම දහ ජරා වැඩ කෙරුවත් ආච්චි මට හරිම ආදරෙන් හිටියා . හුගක් වෙලාවට අපේ දෙමාපියන්ටත් වැඩිය අපිට ආදරේ කරන්නේ ආච්චිලා , සීයලා . ඒත් අවුරුදු දෙකකට කළින් ලංකාවට ගිහින් ගෙදර ගියාම ආච්චි මාව හදුනා ගත්තේ නැහැ . එතකොට එයාට අවුරුදු 80 ක් විතර ඇති . ආච්චිට අල්සයිමර් කියලා හැමෝම දැනගෙන හිටියත් එයාට බේත් අරන් දෙන්න කවුරුත් උනන්දු උණේ නැහැ . අනෙක ඒක හොඳ කරන්න පුළුවන් ලෙඩක් නෙමෙයි . මම ආච්චි ළඟට වෙලා බලාගෙන හිටියා . එයත් මං දිහා බලාගෙන හිටියා . "පුතේ .." කියලා මගේ ඔලුව අත ගාවී කියලා හිතුවත් එහෙම වුණේ නැහැ . ආච්චිට මුළු ජීවිතයම අමතක වෙලා තිබුණේ . 

පොත් කියවන මිනිස්සුන් ට ඇල්සයිමර් හැදෙන්න නැහැයි කියලා කතාවක් තියනවා . අපේ ආච්චි කියවන්න දැනගෙන හිටියේ නැහැ .  

නෙල්සන් මැරුණේ ගිය අවුරුද්දේ . නෙල්සන් කියන්නේ අවුරුදු 11 ක් පැරිසියේ ගෙදර අපිත් එක්ක හිටිය Golden retriever වර්ගයේ බල්ලා . ආච්චි ගේ මරණයටත් වඩා මා කම්පනයට පත් කළේ නෙල්සන් ගේ මරණය . බල්ලෙකුට කියවන්න බැරි පොත් බිහි වුනත් බල්ලෝ පොත් කියවන්නෙත් නැහැ .
බල්ලන්ට අල්සයිමර් හැදෙනවා කියලා මම දැනගෙන හිටියේ නැහැ . අනෙක් ලෙඩ හැදෙන්න පුළුවන් . ඒත් අල්සයිමර්..?
"මිනිස්සුන්ට හැදෙන හැම ලෙඩේම බල්ලන්ට හැදෙන්න පුළුවන් . පිළිකා , වකුගඩු අමාරු , දියවැඩියාව , අල්සයිමර්.. මේ හැම දෙයක්ම . ඒ විතරක් නෙමෙයි මිනිස්සුන්ගේ ගතිගුණ හුගක් බල්ලන්ට තියනවා . උඩගුකම . ඊරිසියාව . හැබැයි බය වෙන්න එපා උන් ඊරිසියා කරන්නේ මනුස්ස අපිට නෙමෙයි . තවත් බල්ලෙකුටම තමයි .." පශු වෛද්‍යවරයා මට කිව්වා . 

නෙල්සන්ව සල්ලි වලට අරන් ගෙදර ආවේ මම . අපේ පුතාලා දෙන්නා ඌව බලා ගත්තේ පුංචි හුරතල් කාලේදී විතරයි . ඌ ලොකු වුණාට පස්සේ මම තමයි නෙල්සන් ලොක්කව බලා ගත්තේ . නෑව්වේ . කන්න දුන්නේ . එළියට අරං ගියේ . ඌ ඒක දැනගෙන හිටියා . ඒ නිසා වෙන්න ඇති නෙල්සන් මට දරා ගන්න බැරි ආදරයක් පෙන්නුවේ . මං එනකං බලා හිටියා . මම කන කං කෑවේ නැහැ . මම බොනකොට තරහෙන් බලාගෙන හිටියා . ඇත්තම කියනවා නම් මගේ හොදම යාලුවා වුණේ අකිල ගොනා නෙමෙයි . නෙල්සන් . 

ඒත් එක දවසක් පාක් එකට ගිහින් ඉන්න වෙලාවක ලොක්කා අමුතු විදිහකට හැසිරෙන්න පටන් ගත්තා . 
නෙල්සන් ..නෙල්සන් කියලා කතා කෙරුවත් ඇහුණේ නැහැ වගේ හිටියා . විනාඩි කීපයකට පස්සේ හරි ගියා . ඒ විදිහට තමයි අපේ බල්ලට අල්සයිමර් හැදුණේ . 
මගේ දරුවෙක් වගේ හිටපු , සමහර වෙලාවට දරුවන්ට වඩා මට ආදරේ කරපු සතාට අතීතය අමතක වීමේ රෝගයක් වැළඳිලා තියනවා කියන එක අදහා ගන්න මට බැරි වුණා . මම එනකං මග බලාගෙන හිටපු , මගේ ළඟින් හෙල්ලෙන්නේ නැතුව හිටපු මගේ සුනඛ මිත්‍රයා මාව සත පහකට ගණන් ගන්නේ නැතුව ඉන්න එක මට දරා ගන්න බැරි වුණා . ඒ දවස් වල බීලා වෙරි වෙච්ච ගමන් මම කෙරුවේ නෙල්සන් බදාගෙන අඬන එක . 

"අපි දෙන්නාගේ අතීතයේ ඔයාට මතක තියන ලස්සනම දවස කවද්ද ..? " දවසක් මම මගේ බිරිඳ ශානිකා ගෙන් ඇහුවා . එයාගේ මූණේ කොමල හිනාවක් මතුවුණා . 
"ඔයාට මතකද අපි 2021 එකේ ලංකාවට ගිහින් පුතාලාව කොළඹ තියලා ඇල්ලේ ගියා . "
"ඉතිං ...? "
"එදා රෑ මොකද වුණේ කියලා මතක නැද්ද ...? "
"නැහැ .. " ඊට පස්සේ එයා මගේ කණට ළං වෙලා ඇල්ලේ ගත කරපු රාත්‍රියේ වෙච්ච දේ කිව්ව . හැබැයි ඇත්තටම ඒක මට මතක තිබ්බේ නැහැ . 
"ඔයාට මතක නැද්ද ..? ඔයාට නම් අල්සයිමර් අනේ .."
බිල්ඩිමේ මහ දොරේ කෝඩ් එක මට අමතක වෙනවා . බැංකු කාඩ් එකේ අංකය අමතක වෙනවා . පාස්වර්ඩ් හැම එකක්ම වගේ අමතක වෙනවා . මේ හැම එකක්ම පොඩි පොතක ලියලා තියා ගත්තා . ඒ පොත තිබ්බ තැන මතක නැහැ . 
ඒ විතරක් නෙමෙයි . ශානිකා හදලා තිබ්බ දඹල ව්‍යංජනය මොකක්ද කියලා මතක් කර ගන්න බැරි වුණා . 
වඩාත් දරුණුම දේ තමයි යම් දෙයක් ළඟ තිබුණත් , ඒක ළඟ නැහැයි කියලා හිතෙන එක . ළඟ තියනවා කියන එක අමතක වෙන එක .  
"මොකද ඔයා මූණ එල්ලගෙන ඉන්නේ ...?" ශානිකා අහනවා .

"නැහැ . එහෙම නැහැ ... " සමහර වෙලාවට මගේ මූඩ් එක වෙනස් වී ඇති බව මටම තේරෙනවා . කණස්සල්ලෙන් දවස ගත කරන්නට හේතුවක් මට තිබුණේ නැහැ . මහා ලොකු සියලු සැප සම්පත් නැති උනත් සතුටින් දවස ගෙවන්න මට පුළුවන් . ඒත් සතුටින් ජීවත් වෙන්න් පුළුවන් නේද කියන එක මට අමතක වෙනවා .  
"ලෝකේ තියන දරුණුම රෝගය අල්සයිමර් කියලා උඹට හිතෙන්නේ නැද්ද ..? " මම අකිල ගෙන් ඇහුවා . 
මම දන්නේ නැහැ . හැබැයි ඉතිං සමහර දේවල් අමතක වෙනවා නම් හොඳයි නේද ..? 
"ඔය ලෙඩේදී තෝර බේර ගෙන අමතක වීම වෙන්නේ නැහැ . මුළු අතීතයම අමතක වෙනවා ..." 
"සමහර වෙලාවට එහෙම වෙන එක හොදයි බං.. "
"එහෙම කියන්න එපා . ගෑනි , ළමයි යාළු මිත්‍රයෝ හැම දෙනෙක්ම අමතක වෙනවා . කියපු කරපු දේවල් , ආගිය තැන් හැම දෙයක්ම අමතක වෙනවා . කොටින්ම උඹට මාවත් අමතක වෙනවා .."
"ඒකනං ලොකු දෙයක් . උඹව අමතක කර ගන්නේ කොහොමද කියලා හිත හිත මම හිටියේ . " අකිල සමග කිසිදු ආකාරයේ ගැඹුරු කතාවකට පිවිසිය නොහැකිය . සියල්ල ඔහුට විනෝදය ගෙන දෙයි . එහෙත් යම් දෙයක් මතක් කර ගන්නට නොහැකි වීමේ කරුමය ගැන අපි දෙදෙනාම ඒ මොහොතේ සිතන්නට වුණා . මිය යන තුරු මතකයේ තබා ගත යුතු මතක රාශියක් තිබෙනවා නොවේද ..
"උඹට හෙට අල්සයිමර් හැදෙනවා කියලා හිතපං . හැබැයි එකම එක මතකයක් තියා ගන්න වරමක් ලැබෙනවා . මොකක්ද තියා ගන්න මතකය .." දිගු නිහැඩියාවකට පසු අකිල අසයි . අල්සයිමර් කතාව නිසා අපේ සිකුරාදා සවස බියර් පානයේ FUN එක අහිමිව ගොසිනි . මම අතීතයට දිව ගියෙමි . සොඳුරු , සතුටු දැනුනු අවස්ථා නම් බොහොමයකි . වසර ගණනකට පෙර දිනක උදෑසන , ගැහැනු ළමයෙක් කොරිඩෝව දිගේ ඇවිද එනු මම දැක්කා . ඇය පැමිණියේ මා දැක ගන්න . ඇය නිවසට ඇතුළු වෙලා වැළඳ ගත්තට පස්සේ මම තේරුම් ගත්තා ආයේ ගැලවීමක් නැති බව . සුවඳ විලවුන් ගලවා නොතිබුණත් ඇගේ සුවඳින් ජීවිතයපිරී යනවා මට දැනුනා . ඇල්සයිමර් හැදුනත් ඒ මොහොත විතරක් මතකයේ තියා ගන්න පුළුවන් නම් හොදයි . ඒත් මම අකිලගේ ප්‍රශ්නයට උත්තර දුන්නේ නැහැ .  
ප්‍රංශයේ නම් පිළිකා රෝගයට ගොඳුරු වෙලා මැරෙන ප්‍රමාණය හා නොදෙවෙනි ප්‍රමාණයක් අල්සයිමර් ලෙඩේ හැදිලා මරෙනවලු . මේ ලෙඩේ සුව කරන්න බේතක් තවම හොයාගෙන නැහැ . මිලියන ගානක් වැය කරළත් බේතක් හොයා ගන්න බැරි වෙච්ච කාලකන්ණි ලෙඩක් මේක .

සමහර දේවල් අපි අමතක කරන්න උත්සාහ කරනවා . ඒත් අමතක කරන්න බැහැ . කාලය ගත වෙද්දී අමතක වෙයි කියලා හිතෙනවා . මිනිහෙකුගේ ජීවිතේ අමතක කළ යුතු දේවල් පමණක් මතකයෙන් ඉවත් කරන්න අල්සයිමර් රෝගයට පුළුවන් වුණා නම් සමහර විට ඒක රෝගයක් වශයෙන් සළකන එකක් නැහැ . ඒක ආශිර්වාදයක් වේවි . 
අපි කවදාහරි මැරෙනවා . ඒත් මැරෙන වෙලාවට තමන් ඉස්සරහා ඉන්නේ තමන්ගේ දරුවන් කියලා මතක් කර ගන්න බැරි තත්වයට පත් වීම නම් ලොකු කරුමයක් . 
"අපි යමුද ..?" අකිල අහුවා . අල්සයිමර් කතාව නිසා අපේ හැන්දෑව අවුල් වෙලා තිබුණේ . ඒ එක්කම ළඟ මේසේ වාඩිවෙලා හිටපු මහත්තයට , වේටර් කොලුවා ලොකු බියර් වීදුරුවක් ගෙනත් දුන්නා . මෙච්චර වෙලා වෙව්ලපු අත බියර් වීදුරුවට අත තිබ්බ ගමන් සාමාන්‍ය තත්වයට පත් වුණා . කිසිම කරදයක් නැතුව වීදුරුවෙන් බාගයක්ම හිස් කරපු මහත්මයා හිනා වෙලා අපි දිහා බැලුවා . මට පාර්කින්සන් නැහැ . ඇල්කොහොල් වැටුණේ නැති හින්දා අත වෙව්ලුවේ ...වගේ දෙයක් එයාගේ මුහුණේ රැදිලා තිබ්බා .

ආපහු එන ගමනේදී මම කඩේට ගොඩ වුණා . උදේ එළියට බහිද්දී මගේ ගෑනි මොනවා හරි දෙයක් ගේන්න කිව්වා නේද කියලා මතකයක් තියනවා . ඒත් ගේන්න කිව්වේ මොනවද කියලා මතක නැහැ . 
"සැමන් ටින් දෙකකුයි , අල කිලෝ එකක් විතර ..ටැමිල් කඩේ ළඟින් එනවා නම් දඹල ටිකක් ගේන්න . ඔයාගේ ජැකට් එකට මම දැම්මා පොඩි ලිස්ට් එකක් .." ශානිකා කිව්වා .

කබායේ සාක්කුවට අත දැම්මාම මට ලැයිස්තුව අහුවුණා . 

"ලිස්ට් එක මම දැක්කා . ඔයාගේ කටහඬ අහන්න ඕන හින්දා කතා කෙරුවේ .."
"අඥේ...ඇච්චද ..?"
"ඇයි සැමන් ගේන්න කිව්වේ .. ගෙදර තියනව නේද ..?"
"ඔව් . ඒත් ඔයාට කියලා බඩු ගෙන්න ගෙන හදා ගන්න කෑම වල රස වැඩියි ..අද කවද්ද කියලා ඔයා දන්නවනේ ..? "
"අපේ ඇනිවසරි එක නේ.. ඔයා හිතුවද මට අමතක වුණා කියලා .."
"ඇති යන්තම් ඒක මතක තිබ්බා ..."

සත්‍ය වශයෙන්ම අද දවස අපේ විවාහ සංවත්සරය යැයි මතකයක් මට තිබුණේ නැහැ . එය අහඹු මතක් කිරීමක් . ඒත් ඇතැම් දේවල් අමතක වීම අනවශ්‍ය වියදම් වලට මග පාදන බව ඒ මොහොතේ මම තේරුම් ගත්තා . බඩු ලැයිස්තුව සාක්කුවේ තියන බව අමතක වුණු නිසා තමයි ශානිකා ට කතා කරන්න සිද්ද වුණේ . කතා කෙරුව නිසා තමයි අද අපේ ඇනිවසරි එක කියලා මතක් වුණේ . ඒකෙ අවසන් හෙනේ පාත් වුණේ මගේ සාක්කුවට . දැන් තෑග්ගක් නොගෙන ගෙදර යන්න බැහැ . 
ඇතැම් අමතක වීම් අනවශ්‍ය වියදම් වලට මග පාදන්නේ එහෙමයි ..



Nissanka Rajapaksa

unread,
Jul 4, 2025, 9:59:46 PMJul 4
to INDRAKA group
47

විමානය ගිනි වැදුණු පසු

– ෂර්මිලා බංදුනී දංවත්ත

අප්සරා එක විටම ත්‍රී රෝද රථයෙන් බහින්නේ නැතිව හොඳින් වට පිට බැලුවා.පොලිසිය මිදුලේ කිහිපදෙනෙක් ගැවසෙනව පෙනුනත් අඳුරන මුහුණක් නම් ඒ අතර පෙනෙන්න තිබුණේ නැහැ.මුදල් ගෙවලා ඉක්මනින් ත්‍රී රෝද රථයෙන් බැහැ ගත්ත අප්සරා අඩියට දෙකට ගේට්ටුවෙන් ඇතුල් වුණා.දන්න කියන කෙනෙකුට වුනත් දැන් නම් අප්සරාව අඳුනගන්න අමාරුයි.ස්කාෆ් එකක් හොඳට තද වෙන්න හිස වටේ බැඳගෙන හිටපු අප්සරා එලියට බැස්සේ ලොකු කළු අව් කණ්නාඩි දෙකකුත් දමාගෙන.
                 කවදාවත්ම මොනම දෙයකටවත් පොලිසියකට පය නොතියපු අප්සරා ගේ පපුව ගැහෙන සද්දය ඇයටම ඇහුණා.
” කමක් නැහැ
  අදත් එන්නේ නැත්නම් කවද්ද එන්නෙ ?
 මීට හුඟ කාලෙකට ඉස්සරයි මට මේ ගමන එන්න තිබුණේ.
    එහෙම කළා නම් අද මෙහෙම වෙන්නේ නැහැ”
අප්සරා තමන්ටම මුමුණා ගත්තා.
              හොරෙක් වගේ ඉක්මන් ගමනින් පොලිසියට ඇතුළු වුණු අප්සරා අසරණව වට පිට බැලුවේ කරන්න ඕන දෙය හිතාගන්න බැරිව.බෝඩ් ගහල තියෙන ස්ථාන අනුව තමන් යන්න ඕන සුළු පැමිණිලි අංශයටද ළමා හා කාන්තා කාර්යාංශයටද කියලා එක පාරටම හිතාගන්න අප්සරා ට බැරිවුණා.ළමා හා කාන්තා කාර්යාංශය කියලා ගහල තියෙන තැන කාන්තා නිලධාරිනියක් පැමිණිල්ලක් විභාග කරමින් ඉන්නවා දුටුව අප්සරා එතනට ගිහින් පුටු පේලියේ කොනක වාඩිවුණා.
           එහෙම ඉන්න අතරෙත් අප්සරා කලේ වට පිට බලන එක.කවුරු හරි තමන් අඳුනන කෙනෙක් මෙතන ඉඳීවි කියන බය අප්සරාට තිබුණා.
” එහෙම උනොත් මොන ලැජ්ජාවක්ද ?
ඒත් දැන් වෙන්න ඕන හැම දේම වෙලා ඉවරයි.
තවත් මොනවට ලැජ්ජා වෙන්නද?
තව ඉවසන් හිටියොත් ඔය මිනිහා කපන්නේ මගෙ බෙල්ල.
එහෙම උනොත් අසරණ කෙල්ලෝ දෙන්නට මොකද වෙන්නෙ”
         අප්සරාගේ ඇස් වල කඳුළු පිරුණා.
                “මේ වගේ ගමනක් එන්න වත් මට කාත් කවුරුවත්ම ඉතුරු කලේ නැහැනේ ඔය මිනිහා”
         කිසිම නෑදෑයෙක් යාළුවෙක් ආශ්‍රයට පියල් ඉඩ නොදුන් හැටි අප්සරා ගේ මතකයට ආවා.
              අම්මටයි තාත්තටයි පුළුවන් කාලේ තමුන්ව බලන්න ආ හැටිත් දැන් වයස්ගතව ඉන්න අම්මා තාත්තා බලන්න තමන්ට මහ ගෙදරට යන්න එන්න ඉඩ නොදෙන හැටිත් සිහිවෙනකොට නම් අප්සරාට දැනුණේ දරාගන්න බැරි වේදනාවක්.
” හිමිජ්ජා වගේ හිටියට මහ නරුම මිනිහෙක්
ඇත්තටම ඔය මිනිහගේ උගත්කම මොකටද?
මහ ලොකු බෑන්ක් මැනේජර්”
           අප්සරා සිතුවිල්ලෙන් මිදුනේ මහා කලබැගෑනියක් එක්ක. තමන් එදිරියේ විසඳෙමින් තිබුණු පැමිණිල්ලේ පිරිමියා ඉදිරියට පැන කාන්තාව ගේ කොණ්ඩෙන් ඇද තදින් පහරක් එල්ල කලේ ඇහි පිහ ගහන වේගයෙන්.කාන්තාව විලාප නැගුවා.රාලහාමිලා දෙදෙනෙකු පැමිණ එම පුද්ගලයා ගේ කොලරයෙන් අල්ලාගෙන ඇදගෙන ගියේ කූඩුවට දමන්නට වෙන්නට ඇතැයි අප්සරාට හිතුනා.
” මට විතරක් නෙවෙයි.
ගෑණු අපි කාටත් එක වගේ”
              අප්සරා හිත හදාගන්න හැදුවා.
            සිද්ධ වෙච්ව කලබලය අස්සෙම පෙර පැමිණිල්ල විභාග කිරීම අතරමග නැවතුණා.නිලධාරීන් එහෙ මෙහෙ දුවල නැවත තැන්පත් වෙනකල් අප්සරා බලාගෙන හිටියා.
” දොළහ වෙනකොට චූටි දුව ගෙදර එනවා.
    ඊට කලින් ගෙදර යන්නත් ඕනෙ “
      අප්සරා බිත්තියේ හයිකරලා තියෙන මූණ රවුම් ඔරලෝසුව දිහා බැලුවා.
          ඊළඟට ආවේ අප්සරාගෙ වාරය. කතාකලහම නැගිටලා ගිහින් නිලධාරිනියගේ මේසය ඉදිරිපස පුටුවේ වාඩිවුණු අප්සරා තමන් දාගෙන ඉන්න ලොකු අව් කණ්නාඩිය ගලවලා අතට ගත්තා.එතකොටයි නිලධාරිනිය අප්සරා ගේ මූණ හරියටම දැක්කේ.
              ඇස් වටේ කළු වෙලා ඇස් රතු වෙලා නලලෙ පැත්තක් නිල් වෙලා තඩිස්සි වෙලා තිබුණට මොකද වලාවකින් මෑත් වුණු සඳක් වගේ අප්සරාගේ මුහුණ බැබලුනා.පොලිස් නිලධාරිනිය පුදුම වෙලා වගේ තත්පරයක් දෙකක් අප්සරාගේ මුහුණ දෙස බලාගෙන හිටියා.
” ඔව් කියන්න
  කාට විරුද්ධව ද පැමිණිල්ල “
නිලධාරිණිය විමසුවේ කරුණාවෙන්.
” මගේ මහත්තයට විරුද්ධව”
පොලිස් නිලධාරිනිය නැවතත් අප්සරාගේ මුහුණ දෙස පරීක්ෂාවෙන් බැලුවා.
” මොකද වුණේ?
මට පැහැදිලිව ඔක්කොම විස්තර කියන්න “
 ” ඔයාගේ නම කියන්න “
          අප්සරා සිද්ධිය ගොනුකරගන්න මදක් පමාවුණා.ඉන් පස්සේ සෙමෙන් පටන්ගත් විස්තරය නැවතිල්ලේ කියාගෙන ගියා.
                   මම අප්සරා සමරකෝන්.මගෙ මහත්තයා පියල් සමරකෝන්.මම ඉස්සර ගුරුවරියක් විදියටයි වැඩ කලේ.මගේ මහත්තයා බැංකු කළමනාකාරවරයෙක්.මට එයාව මුණගැහුණේ ඉස්කෝලේ තිබුණු උත්සවයකදී.ඒ උත්සවයට අනුග්‍රහය දැක්වූවේ එයා වැඩ කරන බැංකුවෙන්.ඒ කාලේ එයා සහකාර බැංකු කළමණාකාරවරයෙක් .පියල්ට තමයි බැංකුව පැත්තෙන් උත්සවයේ සංවිධාන කටයුතු බාරදීලා තිබුණේ.මමත් විශ්වවිද්‍යාලයෙන් පිට වුණු ගමන්ම නැටුම් ගුරුවරියක් විදියටලැබුණු අලුත්ම පත්වීමක් විදියටයි ඒ ඉස්කෝලේට පත්වෙලා ආවේ.
               උත්සවය සංවිධානය කරන කාලේ අපි අතර සාමාන්‍ය කතාබහක් මිසක් වෙනත් ඇසුරක් තිබුණේ නැහැ.උත්සවය ඉවරවෙලා සතියකින් විතර විදුහල්පති තුමා මට කාර්යාලයට කතාකරලා කිව්වා, මට මංගල යෝජනාවක් ඇවිත් තියන බව.මට පුදුම හිතුණා.විදුහල්පති තුමාගෙන් තමයි දැනගත්තේ ඒ පියල් සමරකෝන් කියන බැංකු නිලධාරියාගෙන් බව.
                   අපි හරිම සාමාන්‍ය මිනිස්සු.මට ඉන්නවා මල්ලි කෙනෙක්.අම්මා රැකියාවක් කලේ නැහැ.තාත්තා දුම්රිය දෙපාර්තමේන්තුවේ සුළු රැකියාවක් කලා.අපි බොහොම අමාරුවෙන් අරපිරිමැස්මෙන් ජීවත්වුණු අය.අපේ තාත්තා හරිම හොඳ තාත්තා කෙනෙක්.අපිට හොඳට උගන්නලා හොඳ රැකියාවන් වලට යොමුකරන එක තමයි තාත්තාගේ එකම හීනය වුණේ.මම විශ්වවිද්‍යාලයෙන් පිට වුණු ගමන්ම මල්ලී විශ්වවිද්‍යලයට ඇතුලූ වුණා.
               පියල් විදුහල්පති වරයා මාර්ගයෙන් අපේ ගෙදරට එන්න දවසක් අහලා එවලා තිබුණා.මම විශ්වවිද්‍යාලයේදී වත් සම්බන්ධයක් ඇතිකරගෙන තිබුණේ නැහැ.මට උවමනා වෙලා තිබුණේ මල්ලිටත් උගන්වන ගමන් තවත් ඉදිරියට ඉගෙනගන්න.ඉහලට ගිහින් අම්මටයි තාත්තටයි හොඳට සලකන්න.ඒත් ඔය කාලේ වෙනකොට අම්මයි තාත්තයි නිතර මතක්කලා මට විවාහ වෙන්න කාලේ හරී කියලා.
                  පියල්ට අකමැති වෙන්න තරම් විශේෂ හේතුවක් නැති නිසා ගෙදරටත් දන්වලා පියල්ලට අපේ ගෙදර එන්න දිනයක් දන්වලා යැව්වා.පියල් අපේ ගෙදර ආවේ එයාගේ අම්මයි , නංගී, නංගිගේ මහත්තයයි එක්ක.එදා තමයි අපිට වැටහුණේ අපි අතර මොන තරම් පරතරයක් තියනවද කියන එක.
              පියල්ගේ තාත්තත් බැංකු කළමණාකාරවරයෙක්.ඒ වෙනකොට නැතිවෙලා අවුරුදු දෙක තුනක් වුණා.අම්මා විශ්‍රාමික ගුරුවරියක් .එකම නංගී වෛද්‍යවරියක්. එයා විවාහවෙලා හිටියෙත් වෛද්‍යවරයෙක් එක්ක.ඒ දෙන්නා අම්මත් එක්කම මහ ගෙදර පදිංචි වෙලා හිටියා.පියල් අල්ලපු වත්තේ අළුත් ගෙයක් හදලා පදිංචි වෙන්න බලාගෙන හිටියේ විවාහය සිද්ධ වෙනකම්.
               අපේ ගෙවල් දොරවල් දැකලා පියල්ගේ අම්මගෙ මූණේ නම් වැඩි සතුටක් තිබුණේ නැහැ.ඒ ගමන පියල්ගේ බලකිරීමටම ආපු ගමනක් කියලා පේන්නම තිබුණා.අපේ ගෙදරිනුත් ටිකක් පස්ස ගැහැව්වේ අපි දෙගොල්ල අතර තිබුණු කැපී පෙනෙන පරතරය නිසා.අනෙත් එක පියල් මට වඩා අවුරුදු එකොළහක් වැඩිමල්.
               එදයින් පස්සේ පියල් කීපවරක්ම අපේ ගෙදර ආවා.මට වටිනා තෑගි බෝග අරගෙන ආවා.කොහොම හරි මගේ හිතත් පියල්ට ඇදිලා ගියා.පියල්ගේ අම්මා අපේ කේන්දර බැලෙව්වහම කියලා තිබුණා මගේ කේන්දරයෙන් පියල්ට වාසනාව ගේනවා එයා ලොකු ඉහළ තැනකට යනවා කියලා.ඒ නිසාමද කොහෙද පියල්ගේ අම්මගෙ කැමැත්තත් අපිට ලැබුණා.කතාකරලා මාස පහ හයක් ඇතුලත අපි විවාහ වෙලා පියල් හදල තිබුණු ගෙදර පදිංචියට ආවා .
                ජීවිතය සම්පූර්ණයි කියල මට හිතුනා.පියල් මට ආදරයෙන් සැළකුවා.හොයල බැලුවා.ගෙදර හිටපු කාලේ මම ඒතරම් රට තොට ඇවිදපු කෙනෙක් නෙවෙයි.පියල් මාව කවදාවත් නොගිය තැන්වල එක්ක ගියා.හොඳට විනෝද වුණා.යාළුවන්ගේ ගෙවල්වල ගියා.මගේ අම්මා තාත්තා බලන්නත් අපි නිතර ගියා.එක පාරක් පියල් මාව සිංගප්පූරුවේ සංචාරයකටත් එක්කගෙන ගියා.
අප්සරා මදක් නැවතී වටපිට බැලුවේ තමන්ගේ කතාව තව කවුරුවත් අහගෙන ඉන්නවද බලන්න වගේ
පොලිස් නිලධාරිනියත් සාවධානව අහගෙන හිටියා මිසක් හරස් ප්‍රශ්න ඇහුවේ නැහැ.
                 මට තිබුණා ලස්සන දිග කොණ්ඩයක්.ඒක තනි කරලට ගෙතුවහම එක මිටකට අල්ලන්න බැරි තරම් මහතයි.කඩලා දැම්මහම ඉත්ත කූරු මිටියක් වගේ ඝනට දනහිසෙන් පහලටම කඩා හැලෙනවා.පියල් ඒ දවස්වල කිව්වේ එයා වැඩියම ආස වුණේ මගේ කොණ්ඩෙට කියලා.ඇත්තටම මමත් පණ වගේ මගේ කොණ්ඩය ආරක්ෂා කලේ.
          කාන්තා පොලිස් නිළධාරිනිය පෑන පසෙකින් තියලා අප්සරාගේ හිස දිහා උවමනාවෙන් බැලුවා.එහෙත් ඇයට දකින්නට ලැබුණේ හොඳට තදවෙන්න හිස වටා ඔතලා තියෙන ස්කාෆ් එක විතරයි.
” ඇත්තටම මෙයාට එහෙම කොණ්ඩයක් තියනවද ? “
     වගේ හැඟීමක් ඒ බැල්මේ ලියවිලා තිබුණා.
” ඉතිං “
පොලිස් නිලධාරිණිය කතාවේ ඉතිරි කොටස කියන්න අප්සරාව දිරිමත් කළා.
                මම ලස්සනයි කියලා ඉස්කෝලේ යන කාලේ ඉඳලම හැමෝම කිව්වා.ඒ ලස්සනට ප්‍රධානම හේතුව කොණ්ඩය කියලයි මම හිතුවේ.ඒ නිසාම මම වෙන කිසිම දෙයකටත් වඩා කොණ්ඩය ගැන සැලකිලිමත් වුණා.
            මට ඇහිලා තියනවා පියල්ගේ අම්මත් නංගිත් එක්ක කියනවා
” අපට මොනම අතකින්වත් ගැලපෙන්නේ නැති ගෑණියෙක්ව අයියා ලස්සන නිසා කරගහගත්තා කියලා.කවුරු මොනවා කිව්වත් පියල් මට ආදරෙන් හිටියා.මට හොඳට සැලකුවා. කිසිම දෙයක අඩුපාඩුවක් තිබ්බේ නැහැ.
                අපි බැන්දට පස්සේ පියල්ගේ නෑයින්ගේ ,යාළුවන්ගේ ගෙවල්වල යනකොට හැමෝම පියල්ට කිව්වේ
” ඔයාගේ නෝනා හරි ලස්සනයි “
                 කියලා.
ඒකට ගැහැණු පිරිමි බේධයක් තිබුණේ නැහැ .හැමෝම මගේ ලස්සන වර්ණනා කරනකොට ඒගැන පියල් ආඩම්බර වුණා.
                අපේ පලවෙනි දරුවා දුවෙක්.දරුවා ලැබිලා ටික දවසක් යනකොට පියල් ටික ටික වෙනස්වෙන්න ගත්තා.ඉස්සර අපි පාටි වලට ට්‍රිප් වලට නිතරම එලියට ගියත් හිටපු ගමන්ම පියල් ඒ ගමන් අඩුකරන්න ගත්තා.අත්යාවශ්‍යම දෙයකට ඇරෙන්න අපි මගේ අම්මා තාත්තා බලන්නවත් ගියේ නැහැ.
                     වෙනදා නිතරම යාළුවන්ට ගෙදරට ආරාධනා කලත් පස්සේ ඒකත් අතහැරලා දැම්මා. මට ටික ටික තේරුම් යන්න පටන්ගත්තා ඒ මම නිසයි කියන එක.එයා කැමති වුණේ නැහැ මගේ ලස්සන පිට අය වර්ණනා කරනවට.
                      දුවට අවුරුද්දක් විතර වෙනකොට පියල් මට කිව්වා රස්සාවෙන් අයින් වෙන්න කියලා.මට පුදුම හිතුණා.මම ඒකට පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ.මගේ තාත්තා අමාරුවෙන් උගන්වලා ඒ උගත්කමින් ලබාගත් රැකියාව නැතිකරගන්න එක මහ අපරාධයක් කියලයි මට හිතුණේ.
                    ඒත් පියල් කිව්වේ වැඩකරන කෙනෙක් ළඟ දරුවා දමලා වැඩට යනවට එයා කැමති නැහැ කියලයි.මට ගෙදර ඉඳගෙන දරුවා බලාගන්න කියලා කිව්වා.මම අකමැති වුණහම එයා මාත් එක්ක කතාකරන එක අත්හැරියා.මට ඒක දරාගන්න බැරි වුණා.පවුලේ සමගිය ගැන හිතලා මම රැකියාවෙන් අයින් වුණා.ඒ ගැන තාත්තට කිව්වහම තාත්තාගේ ඇස් වල කඳුළු පිරුණා.මට දරාගන්නම බැරි වුණේ ඒක.
                ඔය සිද්ධියෙන් පස්සෙ ආයෙත් අපි හොඳින් හිටියා.ටික දවසකින් අපිට තවත් දුවෙක් ලැබුණා.පියල් මට කඩයකට වත් යන්න දුන්නේ නැහැ.මටයි දරුවො දෙන්නටයි ඕන කරන ඇඳුම් පවා ගෙනාවෙ එයා.ඇත්තටම ගෙනත්දෙන ඇඳුමක්වත් ඇඳගෙන යන්න තැනක් මට තිබුණේ නැහැ.ඒ ගැන කිව්වහම පියල් කිව්වේ.
” ඕවා ගෙනත් දෙන්නේ ගෙදරට අඳින්න .
මට බලන්න
වෙන කාටවත් පෙන්නන්න නෙවෙයි”
                      කියලා.
   මගේ යාළුවෝ ඔක්කොම ඈත් වුණා.යන්නේ එන්නේ නැති නිසා නෑදෑයෝ තරහ වුණා.මගේ නෑයෝ හිතුවේ මම අහංකාර වෙලා කියලා.පියල්ගේ නෑයෝ හිතුවේ ඒගොල්ලෝ එක්ක පෑහෙන්න මට බැරි නිසා එන්නේ නැහැ කියලා.කොහොම හරි මම බිත්ති හතරටම කොටු වුණා.
                   ඔය අතරේ ලොකු දුවව පෙර පාසලට ඇතුලත් කළා.ඊට පස්සේ ඉස්කෝලෙට ඇතුළත් කළා.පළවෙනි දවසේ විතරමයි මාව එක්කගෙන ගියේ.දරුවන්ගේ හැම දෙයටම ගියේ පියල්.දුවගේ කොන්සට් එකට මාව එක්කගෙන ගියත් පියල් හිටියේ හරිම අපහසුවකින්.මම ආවට කැමති නැහැ වගේ.ඒක මටත් හරිම හිත් වේදනාවක් වුණා.
” ඔයා ගතකරලා තියෙන්නේ මහ පුදුම ජීවිතයක්
හරියට රත්තරං කූඩුවක හිර කරපු කිරිල්ලියෙක් වගේ”
           පොලිස් නිලධාරිනිය පැවසුවේ සුසුමක් හෙලා ළය තසැහැල්ලු කරගන්නා ගමන්.
                ඇසට නැගුණු කඳුලක් පිසදාගත් අප්සරා නැවත කතාව ඇරඹුවා.
               ෆේස් බුක් එක වත් බලන්න මට ඉඩ දුන්නේ නැහැ.ට්‍රිප් එකක්වත් රෑ කෑමකට එලියටවත් අපිව එක්කගෙන ගියේ නැහැ.මගේ ලෝකය පියල්ටත් දරු දෙන්නටත් සීමා වුණා.එහෙම ඉන්නකොට පියල් හිටියේ සතුටින්.එයාගෙත් ලෝකය ගෙදර විතරමයි.
                     වැඩ ඇරුණු ගමන්ම ගෙදර දුවගෙන එනවා.යාළුවෙක් හම්බවෙන්න වත් යන්නේ නැහැ.ඒත් නැටුම් ගුරුවරියක් විදියට කලාව ජීවිතය කරගෙන හිටපු මට මේ ජීවිතය හරිම නීරස අමාරු එකක් වුණා.ඒත් මම ඉවසගෙන හිටියා.
” පියල් මට ආදරෙයි
ඒ වෙනුවෙන් ඉවසනවා”
           මම හිතුවා
ඉඳලා හිටලා යන්නම ඕන මගුල් ගෙදරක ගියා.ඒ යනකොට අනිවාර්යයෙන්ම මට කියලා තිබුණේ කොණ්ඩය ගෙඩියක් වෙන්න බැඳගෙන යන්න ඕන කියලා.ඉතින් මම මගේ ලස්සන කොණ්ඩය හංගගෙන ගෙඩියක් වෙන්න බැඳගෙනයි ගියේ.එහෙම බැන්දත් ඒ කොණ්ඩේ ලස්සන හංගන්න බැරි වුණා.
          කවුරු හරි
” ඔයා තවත් ලස්සන වෙලා”
              කියලා කිව්වොත් සතියක් විතර මූණ එල්ලගෙන ඉන්නවා. මට මේ හැසිරීම ලොකු මානසික අසහනයක් වුණා.
             මාස කිහිපයකට උඩදී දවසක් පියල් කිව්වා එයා ගෙනියපු දවල් කෑම එකේ කෙස් ගහක් තිබුණා කියලා .ඉස්සර කවදාවත්ම එහෙම කතාවක් කියලා තිබූණේ නැහැ.පස්සේ නිතර නිතරම ඔය කතාව කියන්න පටන්ගත්තා.පස්සේ එයාම යෝජනා කළා මගේ කොණ්ඩය කොටට කපන්න කියලා.මම ඒකට කොහොමටවත් කැමති වූණේ නැහැ.
                 සමහර දවස් වලට කෑම එක ඉතිරි කරගෙන ආවා.ඒකේ කෙස් ගහක් තිබුණා කියලා.පස්සෙ කිව්වා දවල්ට කෑම එපා.මම කඩෙන් කන්නම් කියලා.නැති වැරදි හොය හොය මට බනින්න දොස් කියන්න පටන් ගත්තා.
පොලිස් නිලධාරිනිය මොහොතක් අප්සරා දෙස බලාගෙන හිටියා.
” ඉතින් ඔයා කොණ්ඩෙ කැපුවද”
           මට වෙලාවකට හිතුණා කොණ්ඩෙ කපලා දාලා මේ වදෙන් නිදහස් වෙන්න.තවත් වෙලාවකට හිතුණා ඕන දෙයක් වෙන්න කියලා දරුවො දෙන්නවත් අරගෙන තාත්තා ළඟට යන්න.ඒත් තාත්තා දුක්වෙන හැටි මට බලන්න බහැ .මුළු ජීවිත කාලයම දුක් විඳලා තරමක සැනසිල්ලක් ලැබුවා විතරයි ආයෙමත් තාත්තට බරක් වෙන්න මට හිතුණේ නැහැ.කොහොමටත් මම මගේ ප්‍රශ්ණ මගේ ගෙදරට දැනෙන්න තිබ්බේ නැහැ.ඒත් මම ගෙදර එන වාර ගණන අඩු වුණහම ඒගොල්ලන්ටත් මොකක් හරි දෙයක් දැනිලයි තිබුණේ.
                 ඔය අතරෙම තමයි මගේ මල්ලී ගේ මංගල උත්සවය ලංවුණේ.එයා උප දිසාපති වරයෙක් .මංගල්ලේ වැඩ වල උදව්වට දවස් කීපයක්ම ගෙදර ගිහින් ආවා. ගිහින් ආවා කිව්වට පියල් උදේට ගිහින් ඇරලවලා හවසට එක්ක යන්න ආවා.මම ගෙදර ගිහින් ඒ යන එන අයත් එක්ක හිනාවෙලා කතාකරලා සතුටෙන් ඉන්න එකත් පියල්ට දරාගන්න අමාරු වූණා.වචනයෙන් නොකීවත් බුම්මගෙන ඉඳිල්ලෙන් එයා ඒ බව මට ඇඟෙව්වා.
              මල්ලිගේ හෝම් කමින් එක තිබුණේ ඊයේ දවල්.ඊයේ උදේ මම අන්දවන නංගි ළඟට ගියහම එයා කිව්වා මගේ කොණ්ඩය කඩාදාලා මල් ගහලා ලස්සනට හදමු කියලා.මුලදි අකමැති වුණත් පස්සේ මටත් ආස හිතුණා.අන්දලා ඉවර වුණහම මටම හිතුණා මම කොච්චර ලස්සනද කියලා.ඒත් මාව දැක්ක ගමන්ම පියල්ගේ මූණ කළු වුණා.තරහෙන් පුපුරන්න පටන් ගත්තා.ඒත් මම ඒක ගනන් නොගෙන මගේ වැඩ කොටස කරා.
                   උත්සවය වෙලාවෙදි කීප දෙනෙක්ම පියල් ඉස්සරහම මම හරි ලස්සනයි කියලා කිව්වා.සමහරු කොණ්ඩය අතගාලා බැලුවා.මට පියල් දිහා බලන්නවත් බය හිතුණා.කොහොම හරි උත්සවය ඉවර වෙලා අපි ගෙදර එනකොට හවස හතට විතර ඇති.ඉක්මනට නාගෙන රෑට මොනව හරි හදන්නයි මම ලෑස්ති වුණේ.
               එක පාරටම පැන්ට්‍රියට ආපු පියල් මගේ තෙත කොණ්ඩෙන් ඇදල අරගෙන බිත්තියට තදකරගෙන මූණට පාරක් ගැහුවා
” උඹට මම කියන දෙයක් තේරුම් ගන්නෙම නැද්ද?
හිටපන් අද මම හොඳ වැඩක් කරන්න”
එහෙම කියලා එතනම මේස උඩ තිබුණ කතුර අරගෙන මගේ බෙල්ල ලඟින්ම ඒ දිග කොණ්ඩය කපලා බිමට දැම්මා.ඊට පස්සේ ඉතුරු කොණ්ඩ ටික තැනින් තැන කපල විනාශ කරලා දැම්මා.
” මේ බලන්න”
             කියමින් අප්සරා හිසේ දවටාගෙන හිටිය ස්කාෆ් එක ගලවා ඉවත්කරා.
            පොලිස් නිලධාරිනිය හිඳ සිටි පුටුවෙන් නැගිට්ටේ ඇයටත් නොදැනීමයි.
” හපොයි…..
  මේ මොන අපරාධයක්ද?”
              මේසය වටෙන් අප්සරා ළඟට ආව ඇය අප්සරාගේ ඔළුව ඒ අතටත් මේ අතටත් හරවමින් බැලුවේ සිදුකර ඇති අපරාධය දෙසයි.
        අපිලිවෙලට කොටට කපා දමා ඇති කොණ්ඩය තැනින් තැන අඩු වැඩි ලෙසින් කපා දමා තිබුණේ දක්ෂ කොණ්ඩ කපන්නෙකුට වත් නැවත පිළිසකර කළ නොහැකි ආකාරයටයි.
                     තම බෑගයට අත දැමූ අප්සරා පිංතූරයක් එලියට ගෙන පොලිස් නිලධාරිනියට පෙන්නුවා.ඒ තමන්ගේ කලින් තිබූ කෙස් කළඹ පිළිබඳව ඇයට අදහසක් ලබාගන්නටයි.
  ” මොන හිතකින්ද මේ වැඩේ කලේ?”
නැවත නැවතත් පිංතූරයත් අප්සරාගේ හිසත් සසඳමින් ඇය තමන්ටම පවසාගත්තා.
” එතකොට ඔය නලල ගෙඩි ගැහිලා තියෙන්නේ”
” ඒ මම දඟලනකොට කබඩ් එකක දාරේ මගේ ඔළුව හැපුණා
ඊයේ රෑ මම නිදාගත්තේ නැහැ එළිවෙනකම්ම ඇඬුවා.
අනේ මිස්,
මම කොහොමද එලියට බහින්නේ?
මගේ අම්මට තාත්තට මූණ දෙන්නේ?
ඔක්කොටම වැඩිය දරුවෝ දෙන්නා හොඳටම බයවෙලා.
එයාල ගොළු වෙලා වගේ.
අද උදේ ඉස්කෝලෙ ගියෙත් ඇස් වල කඳුළු පුරෝගෙන.
” අනේ මිස්.
දැන් මම මොකක්ද කරන්න ඕන කියල කියන්න.
මට තවත් ඒ ගෙදර ඉන්නත් බැහැ.
යන්නත් බැහැ.
ගිහින් දරුවො දෙන්නව ජීවත්කරවන්න මට රස්සාවකුත් නැහැ.
ඒ වගේම පියල් දරුවෝ දෙන්නව මට දෙන එකකුත් නැහැ “
අප්සරා හඬාවැටුණා.
        අප්සරාට හිතේ හැටියට අඬන්න දුන්න පොලිස් නිලධාරිනිය ඇගේ කට උත්තරය සටහන් කර අවසන් කළා.
” ඔයා දැන් යන ගමන්ම ඔය කොණ්ඩය සැලුන් එකකින් හදවගෙන යන්න.නැත්නම් දරුවො දෙන්නා බයවෙයි.
අපි ඔයාගෙ මහත්තයට දන්වන්නම් හෙට උදේ නවයට පොලිසියට එන්න කියලා.
දරුවො දෙන්නා ඉස්කෝලෙ යවලා ඔයත් ඒ වෙලාවටම එන්න.
අපි බලමු මේක විසඳගන්න පිළිවෙලක්.
පවුලක් කැඩෙනවා කියන්නේ මහා අපරාධයක්.
ඒ තැනට නොගිහින් මේක බේරගන්න අපි උත්සාහ කරමු.
මට පේන්නේ ඔයාගේ මහත්තයට තියෙන්නේ රෝගී තත්ත්වයක්.
එයාට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි කියලයි මට පේන්නේ.
අපි ඒක එයාට පහදලා දීලා ඔයාට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න උත්සාහ ගන්නවා.
එහෙම බැරි වුණොත් ඊළඟ පියවරට යමු”
               නැවතත් ස්කාෆ් එක හිස වටා බැඳගෙන අව් කණ්නාඩිය පැලඳගත්ත අප්සරා පොලිස් ස්ථානයෙන් පිටවී ත්‍රී රෝද රියක නැගී කෙලින්ම ගියේ සැලෝන් එකකට.තමන්ව නොදන්නාම තැනකට ගොස් කිසිවක් නොපවසාම කොණ්ඩය සකසා ගත්තත් එහි අඩුපාඩු සම්පූර්ණයෙන්ම මකාගන්න හැකි වුණේ නැහැ.
                සැලෝන් එකේ කණ්නාඩියෙන් දකින මේ මුහුණ තමන්ගෙමද කියලා අප්සරාට හිතාගන්න බැහැ.කොල්ලෙක්ගේ වගේ කොටටම කපපු කොණ්ඩය ,ඉදිමී රතු වුණු ඇස්,මුහුණේ තියෙන කැළැල් කියා පෑවේ මහා අසරණ බවක්.
                සැලෝන් එකෙන් පිටවුණු අප්සරා නැවත ත්‍රී රෝද රථයකට නැග්ගේ ගෙදර යන්න හිතාගෙන.
” මම ආපහු ඒ ගෙදරට යනවද?”
අප්සරා හදවතෙන් විමසුව.
” වෙන කොහේ කියල යන්නද?”
හදවත අප්සරාගෙන් විමසුවා.
  ” කොණ්ඩෙ කැපුව මිනිහට බෙල්ල කපලා දාන එකත් මහ දෙයක් නෙවෙයිනේ.
ඒත් එහෙම මිනිහෙක් එක්ක දරු පැටව් දෙන්නෙක් දමලා යන්නේ කොහොමද?”
ඒ එක්කම අප්සරාට මහ බයක් දැනුණා.
” මම පොලිසි ගියා කියලා දැනගත්තොත් පියල් මොනවා කරයිද?”
             ත්‍රි රෝද රථයෙන් බැහැලා ඔළුව හැරුණු අතේ ඉබාගාතේ ඇවිදගෙන යන්න අප්සරාට හිතුණා.නිවසට ළංවෙන්න ළංවෙන්න හිතේ බය තවත් වැඩි වූණා.
” ගෙදර නොගිහින් කොහොමද
තව ටිකකින් ළමයි දෙන්නා එනවා
එතකොට මම ඉන්නම ඕන.
නැත්නම් ඒගොල්ලෝ බයවෙයි “
          අප්සරා හිතට ධෛර්යය අරගෙන ත්‍රී රෝද රියෙන් බිමට බැස්සා.
            වත්තට ඇතුල් වෙනකොටම දුටුව දර්ශනයත් එක්ක අප්සරා ගැස්සිලා නැවතුනා.මිදුලේ නවත්වලා තිබුණේ පියල්ගේ කාරෙක.
” පියල් අවේලාවේ ගෙදර ආවේ පොලිසියෙන් වත් විස්තරය කියලද?”
           අප්සරාට හිතුනේ ගේට්ටුව ඇරගෙන පාරට දුවන්න.
                එතකොටමයි ගේ ඇතුලේ ඉඳලා පියල් එලියට බැස්සේ.
                කවදාවත්ම නැතිව පියල් කැප් එකක් දාගෙන.
               හිනා වෙවී අප්සරා දිහා බලාගෙන ඉන්නවා.වෙනදා වගේ
” කොහෙද ගියේ?
  මොනවටද ගියේ?
   කොහොමද ගියේ?
   කා එක්කද ගියේ ?“
              ඒ මොනවත්ම අහන්නේ නැහැ.
          අප්සරාගේ කකුල් අප්සරාටම වලංගු නැහැ.ඒ කකුල් අප්සරාටත් හොරෙනුයි අප්සරාව ගේ දෙසට ඇදගෙන ගියේ.
           අප්සරා ලංවෙනකොට පියල් කැප් එක ගැලෙව්වා.
” දෙයියනේ”
           අප්සරාට කියවුණා.
පියල් මුළු කොණ්ඩයම බූ ගාලා.තට්ටය විතරයි.
” ඇයි…..
   ලස්සන නැද්ද? “
         ඇස් උඩ ඉන්දගෙන කටත් ඇරගෙන තමන් දිහා බලාගෙන ඉන්න අප්සරාගෙන් පියල් ඇහුවා.
                අප්සරාට කතාකරන්න වචන ගොනු කරගන්න බැරි වුණා.ඇස් දෙකෙන් කඳුළු කැට කඩා වැටුණේ හරියට වැහි පොද වගේ.
              ඉදිරියට ආව පියල් අප්සරාව දෑතින්ම අල්ලගෙන තමන්ගේ පපුවට තුරුළු කරගත්තා.
පියල් කිව්වේ වචන දෙකයි.
” මට සමාවෙන්න”
        ඒත්…..
ඒ එක්කම අප්සරාට දැනුනේ නිවසේ බිත්ති දිව ඇවිත් හතර අතින්ම තමාව සිරකර ගන්නවා වැනි හැඟීමක්.

Nissanka Rajapaksa

unread,
Jul 5, 2025, 9:24:20 PMJul 5
to INDRAKA group
48
-මාතෲ-

- මලිති රත්නායක 

 දකුණුපස රියදුරු අසුනේ සිට වාහනය පදවාගෙන යන මගේ සැමියා දෙසම මම බලා සිටියෙමි. දස වසරක් පුරාවට කිසිදු අඩුපාඩුවක් නොකර සියලු වගකීම් දැරූ ඔහු ආදරණීය මිනිසෙකි. කෙතරම් ආදරණීයදැයි පවසතොත් වදනකිනුදු මෙතෙක් කලකට මගේ සිත රිදවා නැත. පසුපස අසුනෙහි පුංචි පුතු තමන්ගේම ලොවක තනිවී සෙල්ලම් කරන්නට විය. තවත් එක් මසකින් මෙලොව එලිය දකින බිළිදා දරා සිටි කුස මත සුක්කානමෙන් මුදාගත් තම වමත තැබූ දිනේශ් 

"මහන්සි නැහැනේද?"යි මගෙන් ඇසුවේ දෑස් මාර්ගයෙන් මුදානොගෙනමය.

"නැහැ. අමාරුවක් නැහැ." මම කෙටියෙන් පිළිතුරු සැපයූවෙමි.

දිගු කතාබහක් ඇති කරගැනීමට තරම් මනසින් ව්‍යාකූලව සිටි මා තුල උවමනාවක් හටගත්තේ නැත. ජීවිතය හිටිහැටියේ මෙතරම් අසාධාරණ වේයැයි මම මින් පෙර සිතා බලා නැත්තෙමි. දරුවන් හැර යෑමට තරම් දැඩි සිතක් මා තුල නොවීය. ඒහැරත් මම සැබෑවටම ආදරයෙන් බැදී විවාහ වූ ඔහුගෙන් තොර ලොවක් පිළිබඳව මා දැනසිටියේද නැත. ඔහු ගැන අහිතක් හිතීමට තරම් මගේ සිත නොපෙළඹීම පුදුමයක් නොවීය. මගේ ආදරණීය සැමියා කිසිලෙසකින් හෝ මා හැරදමා මට ලැබෙන්නට සිටින දරුවා ලැබුනු වහාම වෙනත් තරුණියක හා විවාහවීමට සිතමින් සැලසුම් කරන බව කෙසේනම් අදහන්නද! නමුත් එය සත්‍යයකි. මා අහම්බෙන් මෙන් ඔහුගේ රැකියා ස්ථානය වෙත ගිය මොහොතක කාර්‍යාල කාමරයේ ඔහු හා තනිව සිටි ඇය සමඟ සිදු වූ කතාබහ දොර අසල සිටගෙන මා අසාසිටි බව ඔවුන් දැනටත් දන්නේ නැත.

මට වඩා දොලොස් අවුරුද්දකින් වැඩිමහලු ඔහුට අකමැති වූ දෙමව්පියන් අතැර දමා ඔහු හා විවාපත් වූ මා මගේ දෙමාපිය සහ සොහොයුරන් විසින් අතැරදමන ලද්දෙමි. විවාහ දිවියටම හාවී මගේ එකම සහ හොඳම මිතුරා ඔහු පමණක් කරගත් මම යහළු යෙහෙළියන් මඟහැරගත්තෙමි. අවසනදී මගේ කියන්නට මට ඉතිරි වූයේ ඔහුත් අපේ කුඩා පුතුත් තවමත් මෙළොව එළිය නුදුටු බිළින්දාත් පමණකි. එහෙත් දැන් සියල්ල අහිමිව යෑමට නියමිත බව වැටහෙන්නට විය. මම ඔහුට වඩා දොලොස් අවුරුද්දකින් බාල නමුත් මටත් වඩා තවත් අවුරුදු දහයක් පමණ ලාබාල ඔහුගේ පෙම්වතිය සමඟ මැදිවියේ පසුවන මට තරඟකල නොහැකි බව මම දැන සිටිමි. තාරුණ්‍යය පමණක් නොව අපේ දරුවන් වෙනුවෙන්ම කැප වූ මනා හැඩයෙන් බැහැර වූ මගේ වියපත් වෙමින් පවතින සිරුර පවා මා පැරදවීමට රුකුල් දෙනබව මම දනිමි. කිසිදු ආදායම් මාර්ගයක් හෝ මගේයැයි කීමට ස්තීර නිවසක් හෝ නොවන විට දරුවන්ගේ අයිතිය හෝ මට ලැබේයැයි සිතිය නොහැකි විය. අනෙක් අතට තවමත් නව යෞවනියක වන ඇය දඟකාර රූමතියක මිස දරුවන් හදාවඩා ගනිමින් තම තාරුණ්‍යය තමන්ගේ ලෙයින් නූපන් දරුවන් වෙනුවෙන් කැපකරන්නියක නොවෙන බව ඇය දුටු මුල්ම දිනයේදීම මට පසක් විය. දරුවන් හැරදා යෑම මට කල හැක්කක් නොවේ. මම ඔවුනට අසීමිත ලෙස ආදරය කළෙමි!

මා පරීක්ෂාකල වෛද්‍යවරයා මගේ සියලුම වෛද්‍යවාර්තා සාමාන්‍ය බව පැවසුවද පෙර වතාවේදී මෙන් නොව මෙවර මම දැඩි අපහසුතාවයකින් පෙළෙන්නට වූයෙමි. කොහේ හෝ යම් වරදක් ඇති බවක් හැඟුනද ඒ බවක් වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු නොවූයෙන් අනවශ්‍ය ලෙස සිත කරදර කරගැනීම පිළිබඳව මම මටම දොස් පවරාගත්තෙමි. 

සිත් වේදනාවත් ගතෙහි වූ අපහසුවත් හිතයට සඟවාගත් මම සාමාන්‍ය අයුරින් දරුප්‍රසූතියට මුහුණදීමට නියමිතව පෞද්ගලික රෝහලකට ඇතුලත් කරනු ලැබූවෙමි. හැකියාව තිබියදීත් මා අසලින් රැදීමට ප්‍රතික්ෂේප කරමින් මා වේදනාවිදින අයුරු දැකීමට තමන්ට නොහැකි බව පවසා සූතිකාගාරයෙන් පිටව ගිය මගේ සැමියා නවතාගැනීමට මම උත්සහ නොකලෙමි. 

ඉහළ පෙලේ පෞද්ගලික රෝහලක දක්ෂම වෛද්‍යවරයෙකුගේ ප්‍රතිකාර මධ්‍යයේ වුවද මෙතෙකැයි කිව නොහැකි වේදනාවන් මධ්‍යයේ පැයගණනාවක් ඔට්ටු වූ මා පසුදිනට පහන්වීමට ආසන්නවත්ම කුඩා පුතු මෙළොවට බිහිකළෙමි. දිනේශ් ඒ වනවිට අනෙක් දරුවා සමඟ නිවසේ පසුවන බව මම පසක් කරගත්තේ වෛද්‍යවරයා ඔහුට දුරකථන ඇමතුමක් ගත් හෙයිනි. වෛද්‍යවරයාගේ මුහුණේ එවෙලෙහි ඇදී තිබූ කම්පාසහගත කලකිරුණු ස්වභාවය පිළිබඳව මම පුදුමයට පත් වූයෙමි. මන්ද යත් මගේ නීරෝගී අලුත උපන් දරුවා හෙදියක අතෙහි නැළවෙන විට එබඳු ඍණාත්මක ස්වභාවයක් දැකීම අවස්තාවේ හැටියට නොමනා බව මා සිතූ බැවිනි.

"බබා හොඳින් ඉන්නවා මිස්ටර් දිනේශ්. ඒත් ඔයාගේ වයිෆ්ව බේරගන්න අපිට බැරිවුනා..."

එතනින් එහා වෛද්‍යවරයා තවත් බොහෝ දේ කියවාගෙන ගියද ඒ කිසිවකට සවන් යොමුකිරීමට මම අපොහොසත් වූයෙමි. තවමත් යහතින් මා සිටින විට මා මියගිය බවට මගේ සැමියාට වෛද්‍යවරයා විසින් පවසනු ලැබීම කුමන අරමුණකින් සිදු වූවක් දැයි වටහාගත නොහැකි වූ මම වික්ෂිප්ත වූයෙමි. අනතුරක සේයාවක් ඉව වැටුනු මම මෙතැනින් මිදී පලායායුතු බව පමණක් දැන සිටියෙමි.

මා පිළිබඳ කිසිඳු සැලකිල්ලක් නොදැක්වූ වෛද්‍යවරයාත් මගේ බිළිඳු පුතු  දෝතින් ගත් හෙදියත් මා තනිකර පිටව ගියපසු මම මද වේලාවක් නිසලව සිටියෙමි. එකී කාලය තුල මම බොහෝ දේ වටහාගත්තෙමි. දරුවන් වෙනුවෙන් මවක ලෙස බොහෝ දේ මාතින් ඉටුවිය යුතු බව මෙන්ම මින් පසු සිදුවීමට නියමිත බොහෝදේද මගේ මනස මඳින් මඳ පැහැදිලිවත්ම එහි ඇදී යන්නට විය. 

ඒ අනුව තව මොහොතකින් රෝහල් කොරිඩෝවන්හි අටවා ඇති කැමරා පද්ධතිය ක්‍රියාවිරහිත කරවනු ලබන බව දැනසිටි මා යහනින් බැස ගත්තෙමි. මගේ ගතට කිසිදු වේදනාවක් දැනුනේ නැත. පියවර කීපයක් ප්‍රවේසමෙන් තැබූ මම සිතෙහි වූ චකිතය දුරු කරගත්තෙමි. අසළ ඇඳෙහි බාවා තිබූ කාන්තා මළසිරුර එතැනින් ඉවත් කොට සැඟවීම මගේ පළමු කාර්‍යය විය. ඒ අනූව රෝහලේ පැරණි වැසිකිලි වළක් තුල එය සැඟවී ගියේය. ඉන්පසු ළදරු කාමරය වෙත රිංගාගත් මම මගේ අතෙහි ගැටගසා තිබූ අංක 17ට අදාළ ළදරු සයනය සොයාගත්තෙමි. අංකය නැතත් ඒ මගේ පුතුබව මගේ හදවතට එක් ස්පර්ශයකින්ම වටහාගත හැකි විය. දරුවා දෝතට ගත් මම රෝහලෙන් පලා ආවෙමි. එය කිසිසේත්ම අපහසු වූයේ නැත. මම නිවෙස වෙත පැමිණෙන විට යාන්තමින් එළියවැටීමට ඇරඹුනා පමණකි. පහළමාලයේ වූ සෝපාව මත දරුවා තබා ඉදගත් මම කඩිමුඩියේ තරප්පුව බැස එන මගේ සැමියාගේ අඩිහඩ අසා සිටියෙමි. ඔහු මා මියගිය ආරංචිය අසා රෝහලවෙත දිවයෑමට සැරසෙන බව කිවයුතු නෙවේ. 

මා දුටුවනම ඔහු තිගැස්සී ගියද දරුවා දකිත්ම යළි සිහි එළවාගත් ඔහු මාවෙත දිව ආවේය.

"ඔයා කොහොමද ආවෙ? ඒත්... ඒත් ඩොක්ටර් කිව්වෙ..." ඔහුගේ වචන උඟුරෙහිම සිර විය.

"ඩොක්ටර් කිව්වෙ මම මැරුනා කියලා. මට ඒක ඇහුනා. ඒ නිසාමයි මම ළමයවත් අරගෙන එතනින් පැනල ආවේ." ඔහු හිසෙහි අතගසාගෙන පුටුවක් මතට ඇද වැටුනේය. ජීවතුන් අතර සිටින්නෙකු මියගිය බවට සහතික කිරීමෙන් සහ රෝහලෙහි ආරක්ෂාකාරීව සිටි අලුත උපන් බි‍ලිදෙකු ඉන් රැගෙන පලාගොස් ඇති බව ප්‍රකට වීමෙන් තමන්ට සිදුවන අවමානය හෙළි කරගැනීමට ඇති බිය නිසාම මා රෝහලෙන් පැනයෑම පිළිබඳ ආරක්ෂක අංශ දැනුවත් කිරීමට ඔවුන් පසුබටවන බව පවසමින් මම කම්පනයට පත්ව සිටි ඔහුව අස්වසාලූයෙමි.

දැන හැඳුනුම් කම් මත නිවසට පැමිණි වෛද්‍යවරයාට අවශ්‍ය වූයේ සැබෑවටම මා ජීවත්ව සිටින්නේද යන්න දැනගැනීම පමණක් බව මම දැන සිටියෙමි. මා දුටු ඔහුගේ මුහුණ සුදුමැලි වී යන අයුරු මම බලා සිටියෙමි. දින කිහිපයක් යත්ම සියල්ල යථාතත්වයට පත් වුවද එදින පටන් මම මවක මිස බිරිඳක හෝ වෙනයම් භූමිකාවකට පණ පොවන්නියක නොවූයෙමි. මගේ සැමියාට මගෙන් දුරස්වයෑමට මවිසින්ම ඉඩ සලසා බලා සිටියෙමි. පෙර නොඇසුනු දෙබස්, නුදුටු පෙම් දසුන් ඇසීමට දැකීමට මට හැකි විය. ඒ අනූව තානායමක ඔවුහු, ඔවුන්ගේ ලොවක තනි වූ මොහොතක ඔවුන් ඉදිරියේ පෙනී සිටිමින් මවිසින් පුදුමයට පත්කරනු ලද්දෝය. පෙර කලෙක නම් මම වැළපෙන්නට, කෝපයෙන් ගිනිගනිමින් ශාපකරන්නට හෝ පහරදෙන්නට පවා උත්සහකරන්නට තිබුණි. නමුත් පෙර කී ලෙසම මම දැන් මවක් පමණකි. තම නිරුවත ආවරණය කරගැනීමට අසීරු උත්සාහයක යෙදෙමින් සිටි ඇයත් හැඟීම් විරහිතව ඔහු දෙස බලාසිටි මාත් අතරින් ඔහුගේ තේරීම දැන දැනත් එය වචනයෙන් පැවසීමට ඔහුට ඉඩ හලෙමි. ඔහු ඇය තෝරාගත්තේය. නමුත් කිසිදු දිනයක ඔහුට වරදක් නොකල මා ප්‍රතික්ෂේප කිරීමෙන් ඔහු තම හෘදසාක්ෂිය ඉදිරියේ අසරණවන අයුරු මම දුටුවෙමි. මෙතෙක් කල් අප එක්ව දිවි ගෙවූ නිවස මට නීත්‍යානුකූලව පැවරීමටත් දරුවන් වෙනුවෙන් නඩත්තු මුදල් ගෙවීමටත් මගේ කිසිදු ඉල්ලීමකින් තොරවම ඔහු එකඟ විය. නමුත්,

"මට නෙවෙයි. දරුවො දෙන්නගෙ නමට ඒ දේවල් පවරන්න." මම පැවසුවේ එපමණකි.

කාලය පියඹා යන විට මම මගේ දරුවන්ගේ මවත් පියාත් යන චරිත දෙකටම පණ පෙව්වෙමි. දරුවන් දෙදෙනා තම උත්සාහයෙන් පොළොවේ පයගැසූ දිනෙක මගේ වගකීමෙන් මම නිදහස්ව යනු ඇති බව දැන සිටියෙමි. ඔවුන්ව හොඳින් උගන්වා උගත් බුද්ධිමත් සමාජයට වැඩදායී පුද්ගලයින් කිරීමට මම උත්සුක වූයෙමි. අසාමාන්‍ය අයුරින් මගේ ධාරණ හැකියාව ඉහළ ගොස් තිබූයෙන් දරුවන් දෙදෙනාගේ විෂය ධාරාවන් සිතෙහි ධාරණය කොට ගෙන ඔවුන්ගේ මනසට කාවදින අයුරින් වටහාදීම ඉතා පහසු විය. ඔවුන් දෙදෙනාගේ එකම වීරවරිය වූ 'අම්මා' වූයේ මාය. නමුත් ඔවුන්ගේ ලකුණු මට්ටම්වලින් සාපේක්ෂව අඩු ලකුණු පෙන්වූ ආගමික විෂයයන්වල දැනුම ඔවුනට ලබාදීම මට කලහැකි වූයේ නැත. ඒ ආශ්‍රිත පොතපත  පරිශීලනයට පවා මම අපොහොසත් වූයෙමි. නමුත් සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත් වූ පසු ජීවවිද්‍යා විෂය ධාරාව හැදෑරූ ඔවුනට ඒ පිළිබඳව තව දුරටත් කරදර වීමට සිදු නොවීම මට මහත් සහනයක් විය.

මේ මුළු කාලය පුරාවටම අකමැත්තෙන් නමුත් මම මගේ දරුවන්ට කල අසාධාරණකම් කිහිපයකි. කිසිවිටෙක ඔවුන්ගේ යහළු යෙහෙළියන් නිවසට කැදවාගෙන ඒමට අවස්තාව නොදුන්නෙමි. ඔවුන්ගේ යහළු යෙහෙලියන් ඉදිරියෙහි ඔවුනගේ මව ලෙස පෙනී සිටීමද ප්‍රතික්ෂේප කළෙමි. සැමවිටම පාසල් දෙමව්පිය රැස්වීම් සහ උත්සවාදිය මඟහැරි මම හැකිවිටෙක ඔවුන්ගේ පියා කැදවාගෙන යෑමට ඉඩහලෙමි. කිසිදු විටෙක ඔවුන් හා ඡායාරූප හෝ වීඩියෝ පටිගතකිරීම් සඳහා පෙනී නොසිටීමට වගබලාගත්තේ එබඳු විටෙක කැමරාවෙහි ඇතිවන දෝෂයන් නිසා ඔවුනගේ සිත් අසතුටට පත් කිරීමට අකැමති වූ හේතුවෙනි.

ඒ වනවිටත් මගේ පුතුන් දෙදෙනාගේ පියාට ඔහුගේ දෙවන විවාහයෙන් ලද තවත් දරුවෙකු සිටියද ඔහුගේ පළමු දරුවන් දෙදෙනා දකින සෑම වරකම ඔහුගේ දෑස්වල සටහන්වන ආදරයත්, ඔවුන් හැරදමා යෑම ගැන ඇතිවන පසුතැවීමත් කියවාගැනීමට හැකි තරම් ඒ සිතුම් පැතුම් තවමත් මට විවෘත විය. බොහෝවිට ඒ මම ආදරය කල එකම සහ අවසාන පිරිමියා ඔහු වීම නිසා බව සිතිය හැකි විය. 

දරුවන් දෙදෙනාම හැදී වැඩී, විශ්වවිද්‍යාල ජීවිතය අවසන් කොට වෛද්‍යවරු ලෙස පත්වීම් ලබන විට ඔවුන්ගේ පියා සැලකිය යුතු තරම් වියපත්ව සිටියේය. සුදු වූ කෙස්, රැවුල් සහ රැළිවැටෙමින් තිබූ සම ඒ බව මොනවට කියාපෑවේය. ඔහුගේ බිරිඳද මැදිවිය පසුකර මහළුවියට පාතබමින් සිටියාය. නමුත් මම මීට තිස් වසරකට පෙර රාත්‍රියකදී රෝහලකින් රහසේ පලා ආ මොහොතේ පටන් එකතැන නතර වූ විරාම ඝටිකාවක් මෙන් වූයෙමි. 

දරුවන් තම ජීවිත ස්ථාවර කරගත් බව වටහාගත් මොහොතෙහි මගේ කාර්‍යය අවසන් බවද මම වටහාගත්තෙමි. දුර බැහැර රෝහල්වල සේවය කරන ඔවුන් දෙදෙනාම නිවසෙහි නොවූ විටක ඒ මට සුදුසුම අවස්තාව බව මම දැන සිටියෙමි. මානව ජීවය අඛණ්ඩව පවත්වාගැනීමටනම් දරුවන් කායිකව,මානසිකව මෙන්ම සමාජීය වශයෙන් ස්වාධීනවන තුරු මව්පිය රැකවරණය අත්‍යාවශ්‍යය. මගේ දරුවන් තම ජීවිතය ඇරඹූ අලුතම ඔවුන් තනිකමින්, මාතෲ සෙනෙහස අහිමිව යෑමෙන් සහ අනාරක්ෂිත වීමෙන් අස්ථාවර වී ඇදවැටීමට ඉඩ නොතබා බොහෝවිට මින් පෙර කිසිවෙකුට නොලැබුනු අවස්ථාවක් ලබාදී ඔවුන් රැකගැනීමට හැකියාව මවෙත තිලිණකල මේ විශ්වයෙහි වූ බලවත්ම ශක්තියට මගේ ස්තූතිය මා පිරිනැමිය යුතුමය. එසේම ලෝකධර්මතාවයන්ට පිටුනොපා සුදුසු අවස්තාවේ නික්ම යා යුතු බැවින් මා ලද කරුණාවට පිටුනොපා මේ සටහන මෙසේ අවසන් කරමි.

****************

වෛද්‍ය සොහොයුරන් තම මවට නොදන්වාම ඇය විසූ නිවෙස වෙත ළඟා වූයේ ඇගේ උපන්දිනය වෙනුවෙන් ඇය පුදුමයට පත්කරන්නට සිතාය. අඟුලු නොලා තිබූ හෙයින් නිවෙසට ඇතුලු වූ ඔවුන් මෑණියන් නිවසෙහි සිටිය යුතුබව දැන සිටියෝය. එහෙත් ඇය පෙනෙන්නට නොසිටි නිසාම කොහේ හෝ ළ‍ඟපාතකට යන්නට ඇතැයි ඔවුන් සිතුවද කොතෙක් මඟ බලා සිටියද යළි ඇය කිසි දිනෙක නොපැමිණියාය...

*****************

දැනට මහළු වියෙහි පසුවන ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විජේරත්න මහතා තමන් අතින් ඉටුවිය යුතු ප්‍රතිකාර අවසන් වූ පසු නිවස වෙත යා හැකි වුවද තවත් හෝරා කිහිපයක් එම පෞද්ගලික රෝහලේ නැවතී සිටීමට තීරණය කලේ තම රෝගියාගේ තත්වය එතරම් යහපත් නොවූ නිසාවෙනි. විවේකාගාරයට පැමිණ අසුන්ගත් ඔහුගේ මතකය ඊට තිස්වසරකට පෙර අතීතයේ තමන් මුහුණ පෑ මෙවැනිම නමුත් කිසිදා මතකය හැර නොයා සිතෙහි හොල්මන් කල සුවිශේෂී සිදුවීමක් වෙත දිවගියේය. එදින දරුවා බිහිකල තරුණ මව උපත දී මොහොතක් ගතවත්ම මියගිය බව තීරණය කලේ තමා විසින්ම බව ඔහුට හොඳින් මතකය. ඇගේ හුස්ම තබා නාඩිවැටීමත් නැවතී ගියේ ලබාදුන් හදිසි ප්‍රතිකාර සියල්ල නිශ්පල කරමිනි. වෛද්‍යවරයෙකු වුවත් නිතර දෙවේලේ රෝගීන් ජීවිතක්ෂයට පත්වීම අත් නොවිදිනා හෙයින් එදින තම සිතෙහි උපන් කළකිරීම කණස්සල්ල සහ කණගාටුව අදටත් ඔහුගේ මතකයෙහි හොඳින් රැඳී තිබිණ. එතරම් පීඩාකාරී අවස්තාවක් වූයෙන් තමන් එතැනින් පිටව යෑමට පෙර මියගිය මවගේ සිරුරේ උණුසුම බැස යන්නට ඇරඹෙනා තෙක්  එතැනම රැඳී සිටි අයුරු ඔහුට සිහිවිය. නමුත් සියල්ල උඩුයටිකුරු කරමින් එම මළසිරුරත් ඇගේ බිළිඳාත් අතුරුදන් විය. සීසීටීවී දර්ශනවලින් සිදුවූයේ කුමක්දැයි යන්න සොයාබැලීමට ගත් තැත ඇරඹූ තැනම නිශ්පලව ගියේ ක්‍රියා විරහිත වී හෝ කොට තිබූ කැමරා පද්ධතිය නිසාවෙනි. තම අතෙහි වූ රෝගී වාර්ථාවෙහි වූ අංක දාහතේ ළදරු යහන වෙත තමන් දසවතාවකට වඩා දිවගොස් බැලූ බව මහළු වෛද්‍යවරයා සිහිකලේය. එහෙත් බලාපොරොත්තු නොවූ ලෙස තමන් විසින්ම මියගිය බව සනාතකල තැනැත්තිය තම දරුවාද රැගෙන නිවසට පැමිණ ඇති බව ඇගේ සැමියා විසින් දන්වනු ලැබූ විට තමන් අසිහියෙන් මෙන් ඔවුන්ගේ නිවස වෙත දිවගියේ එය එසේ සිදුවූයේ කෙසේදැයි යන්න නිරාකරණය කරගත නොහැකි වූ ගැටලුසහගත මනසකිනි. සැබෑවටම ඇය එහි සිටියාය. නමුත් ඈ කෙරෙන් දිස්වූයේ පණපිටින් සිටි තැනැත්තියට වඩා සුදුමැලිව ගිය මුහුණින් සහ කලු වූ දෙතොලින් යුතු ඇගේ මළ සිරුරෙහි ස්වභාවය විය. කෙසේ නමුත් දෙවියන් හෝ මාරයාට හෝ ස්තූතිවන්ත වන්නට ඇය තම දරුවා දෝතින්ගෙන සජීවීව නැගී සිටීම ගැන ඔහු තුල ඇතිවූයේ සහනයකි. තම වෘත්තීය දිවියෙහි කලු පැල්ලමක් වෙනුවට සිහින් රිදී රේඛාවක් දකින්නට හැකිවීම ගැන ඔහු සිතින් විශ්ව ශක්තීන්ට ස්තූති කළේය.

ඈත කොරිඩෝව ඔස්සේ දිවයන අතරම තමන් දෙස බලා මද සිනහවක් නැඟූ කාන්තාවක විසින් වෛද්‍යවරයා කල්පනා ලොවින් මෙලොවට විසිකර දමනු ලැබීය. තිගැස්ම නිසාවෙන් තම හෘදස්පන්දනය ඉහළ යනු ඔහුට හැඟින. ඒ ඇයමය! එදින තම දරුවාද රැගෙන රෝහලින් පලාගිය ඇයමය!

ඔහු හුනස්නෙන් නැඟිට ඇය දිවගිය දෙසට හැකි උපරිම වේගයෙන් දිවගියේය. රෝහලේ පසුපස දොරකින් ඉවතට පැමිණි ඔහුට ඇය මඟහැරී ඇතිබව පෙනෙන්නට තිබුණද හිතෙහි හටගත් අමුතු චකිතයක් නිසාවෙන් ඔහු පියවර කිහිපයක් එළිමහනෙහි ඇවිද ගියේ හොඳ විමසිල්ලෙනි. පුදුමයකට මෙන් පැරණි වැසිකිලිවළ අසල සිටගෙන සිටි ඇය ක්ෂණයකින් නොපෙනී යනු ඔහු දුටුවේය. ඇය එතුලට ඇදවැටෙන්නට ඇතැයි සිතූ විජේරත්න මහතා වහ වහා ආරක්ෂක නිළධාරීන් සහ සේවකයින් කැඳවා ඇය ගොඩට ගැනීමට කටයුතු යෙදුවේය.

ඇය සැබෑවටම වැසිකිළිවළ තුලින් ගොඩගනු ලැබුවාය. නමුත් ඒ බලාපොරොත්තු වූ විලසින් නොවේ. වසර ගණනාවකට පෙර මියගිය තැනැත්තියකගේ ඇටසැකිලි පද්ධතියක් ලෙසිනි.අභිරහස් ස්වභාවය නිසාම වඩා හො‍ඳින් පරීක්ෂාවට ලක් කෙරුනු එහි තිබී හමු වූ අංක දාහත සටහන්ව තිබූ ප්ලාස්ටික් ටැගය දුටු වහාම එය  දරු ප්‍රසූතියකදී බිහි වූ දරුවා හඳුනාගැනීම සඳහා දරුවාගේ අතෙහි ගැටගසන කාඩ්බෝඩ් ටැග් එකට අනුරූපව මවගේ අතෙහි ගැටගසනු ලබන ප්ලාස්ටික් ඇමිණුමක් බව හඳුනාගත් වෛද්‍යවරයා තම නළලත නැඟි දහදිය බිඳු පිටිඅත්ලෙන් පිසදාගත්තේ තම සිතෙහි නැඟි පැනයට පවා දීමට හැකි පිළිතුරක් නැතිව නිරුත්තර වෙමිනි.


Nissanka Rajapaksa

unread,
Jul 7, 2025, 11:42:09 PMJul 7
to INDRAKA group
49
හංවඩුව

චාන්දනී දේවිකා පුංචිහේවා

වජිර මහගෙදර ඉස්තෝප්පුවේ පැති ආරුක්කුව මත වාඩි වී දැන් හෝරා කිහිපයකට ආසන්නය. අම්මා මුළුතැන්ගෙයි රාත්‍රී ආහාරය පිළියෙල කරන බව ඔහුට දැනිණ. ඒ, සුළඟ සමඟ මුසුව එන තුන-පහ සුවඳ හේතුවෙනි.

කොළඹ තම නිවෙසේ සිටි මව කැටුව වජිර මහගෙදරට නැවතත් පැමිණියේ ඊයේය. ඇය මහගෙදර හුදෙකලාව ජීවත් වීම පිළිබඳ මුල සිටම වජිර දැක්වූයේ අකමැත්තකි. මවගේ ජීවිතයේ සැඳෑ සමයේ ඇය රැක බලා ගැනීම තම යුතුකම බව ඔහු විශ්වාස කළේය.

“මට මේ පුරුදු තැන හොඳා පුතේ….” මෙරට සංස්කෘතියට අනුව හැඩගැසුණු තවත් අම්මා කෙනකුගේ ගති ලක්ෂණ විදහා පාමින් වජිරගේ යෝජනාව යසෝවතී තරයේම ප්‍රතික්ෂේප කරමින් සිටියාය. එහෙත් වජිරගේත්, සුජාතාගේත් බලවත් පෙරැත්තය නිසාම දැනට මාස කිහිපයකට පෙර යසෝවති කොළඹ’විත් නතර වූවාය. යසෝවතී වජිරගේ නිවෙසටත්, පරිසරයටත් ක්‍රමයෙන් පුරුදු විය. නිවෙසේ වැඩ කටයුතුවලදී ඇය සුජාතාටද සමීපව කටයුතු කළාය. එහෙත්, ඒ සියල්ල යළිත් ආපස්සට හරවාලන්නට මුල් වූ සිදුවීම වූයේ කිසිවකු නොසිතූ ආකාරයෙනි.

දැනට සති දෙකකට පමණ පෙර වජිරත්, සුජාතත් නිවෙසේ දානමය පුණ්‍යකර්මයක් සූදානම් කළහ. ඒ සඳහා වජිර ඔහුගේ පාසල් සමයේ මිතුරකු වූ සේපාලට සහ පවුලේ සැමටද ආරාධනා කළේය. සේපාල ගම අත්හැර නගරයේ පදිංචිව ව්‍යාපාර කටයුතුවල නියැළෙන්නකි. එදින දානය සඳහා සේපාලගේ මව වූ ප්‍රේමා ද සහභාගි වූවාය.

“ආ…නේ… ප්‍රේමක්කා දැක්ක කල්…”

නිවෙසට පැමිණි ඇයව යසෝවතී පිළිගත්තේ උණුසුම් අයුරිනි. පින්කම අවසානයේ කිහිප දෙනෙක් නිවෙසේ ඉතිරි වූහ. ඒ අතර වජිරගේ සහ සුජාතාගේ කාර්යාල මිතුරු මිතුරියෝද වූවෝය.

“දැන් ඉතින් වජිර පුතාට කිසි දෙයකින් අඩුවක් නෑ නේ…”

ප්‍රේමා එක්වරම එසේ පැවසුවේ කවුරුත් ඉදිරිපිටය.

“ඒ කාලයේ යසෝ නංගි කොයිතරම් මහන්සි වුණාද පුතාලව ලොකු මහත් කරන්න… යකඩ ගෑනි කියලනේ ගමේ කවුරුත් නංගිට කිවුවේ…”

ප්‍රේමා කතාව ඉදිරිය ගෙන යන්නට සූදානම් වුවාය. වජිරට සිය මව දෙස බැලිණ. ගමේදී වුවද ප්‍රේමා අනුන්ගේ යටගියාව උපුටා දක්වමින් කතා කිරීමට ශූරය. යසෝවතීගේ මුළු ගතම සීතල විය. කෙසේ වුවද ප්‍රේමා මෙලෙස දිගින් දිගටම කතා කළ හොත් ඉන් වජිරට සිදු වන කැළැල අතිමහත්ය.

“හොරා පොලිස් සෙල්ලමට නංගි දස්සි කියල ගමේ අය තවමත් කියනවා…”

ප්‍රේමා නැවත එසේ පවසන්නට වූවාය.

“අපිට පරක්කු වෙනවා. දුව ක්ලාස් එකෙන් ගන්නත් ඕනෑ… යමු යමු අම්මේ…”

එක්වරම සේපාල කිවුවේය. සිදු වන්න යන දේ වැටහුණු සේපාල කඩිනමින් තම පවුලේ සැම සමඟ වජිරගේ නිවෙසින් පිට වූයේය.

එදින සිට යසෝවතී බොහෝ නිශ්ශබ්ද වූ අතර, වජිර සහ සුජාතා සමඟ කතාබහේ යෙදීමද අවම කළාය. වජිරට සහ සුජාතාටද මේ වෙනස දැනිණ. තම පවුලේ අතීතය පිළිබඳ විවාහ වීමට ප්‍රථම වජිර සුජාතාට පවසා තිබූ බැවින් අඹුසැමියන් අතර එය ප්‍රශ්නයක් නොවීය. විශ්වවිද්‍යාලයේදී හමු වූ ඔවුන් විවාහ වී දැනට වසරකට ආසන්නය. වර්තමානයේ ඔවුහු පෞද්ගලික ආයතන දෙකක විධායක නිලධාරීහුය.

දින කිහිපයකට පසු රාත්‍රී කෑම මේසයේදී යසෝවතී තම පුතු හා ලේලිය සමඟ කතා කරන්නට වූවාය.

“පුතේ… මාව ආයෙමත් ගමට ඇරලවන්න… එදා ප්‍රේමා නංගිට ඒ හැම දෙයක්ම මතක් වුණේ මාව දැක්ක නිසා. ඒ දේවල් ප්‍රේමා නංගි වැමෑරුවා නම් ඔයාලා දෙන්නගෙම සායම යනවා…”

යසෝවතී කතා කළේ පහත් හඬිනි.

“ඉස්සර කතා දැන් වැඩක් නෑ අම්මේ… අපි ඒ කාලයෙත් ජීවත් වුණා. දැනුත් ජීවත් වෙනවා. අම්මා අපි එක්කම ඉන්න ඕනෑ…”

එහෙත් යසෝවතී වජිරගේ අදහස තරයේම ප්‍රතික්ෂේප කරන්න වූවාය. තමා ඔවුන් සමඟ සිටිය හොත් කටුක අමිහිරි අතීතය පුතුගෙත් ලේලියගෙත් වත්මන් සමාජ තලය තුළට හෙළිදරවු වීමට ඇති ඉඩ ප්‍රස්තාව වැඩි බව ඇය වජිරට පැහැදිලි කළාය.

වජිර ඊයේ රාත්‍රියේම මව සමඟ මහගෙදරට පැමිණියේ යසෝවතීගේ තීරණය වෙනස් කිරීමට අපහසු වූ බැවිනි.

ඈත දෙවැට දිගේ ඉදිරියට ආ රුවක් වජිරගේ නිවෙසේ ගේට්ටුව අසල නතර විය.

“වජිරයියේ….”

ඒ සුමතිය: වජිරගේ පාසල් සමයේ මිතුරෙකි. ගමට පැමිණි පසුගිය අවස්ථා කිහිපයේදීම වජිරට සුමතිව මුණගැසී තොතිබිණ. වජිර ඉතා ළෙන්ගතුව සුමතිව පිළිගත්තේය. සුමති සිල්ලර වෙළෙඳාමේ නිරත වන බව වජිර දැන සිටියේය. වජිර සුමති සමඟ ඔහුගේ ව්‍යාපාර කටයුතු පිළිබඳ බොහෝ වේලාවක් කතා කළේය. මහගෙදර පිළිසකර කර ඇති බැවින් දැන් මෙහි ඇත්තේ මනා පෙනුමක් බව සුමති පැවසුවේය.

“කෝ යසෝ නැන්දා?”

“අම්මා කුස්සියෙ ඇති…”

“යසෝ නැන්දා ගැන අපි ඊයෙත් කතා කළා…”

සුමති ‘අපි’ යැයි පවසන පිරිස කවුරුන්දැයි ඇසීමට වජිරට අවශ්‍ය නොවීය.

“විමලදාස මාමා නැති වුණාට පස්සෙ පවුලේ හැම බරකටම නැන්දනේ කරගැහුවේ…”

සුමති පවසන්නේ සත්‍යයකි. පියාගේ රැකවරණය අහිමි වූ පසු යසෝවතී, වජිරත් ගයන්තත් වෙනුවෙන් කටයුතු කළේ අප්‍රතිහත ධෛර්යයකිනි. වජිරගේ පියා – විමලදාස – මුදල් ඉපයීම සිදු කළේ නෛතික රාමුවකට පිටතින් වූ වෘත්තියකිනි. කටුක ජීවිතයක් ගත කළ විමලදාස කසිප්පු පෙරීමට අමතරව කසිප්පු පානයටද ලොල් වී සිටි අතර, නිතරම පොලීසියට කොටු විය. දිනක් පොලිස් ජීප් රිය එන ආරංචිය දැනගත් විමලදාස වෙනදා මෙන් වේගයෙන් පලා යද්දි ගස් මුලක පටලැවී බිම ඇදවැටී ඇත. අසල තිබූ ගලක හිස වැදුණු ඔහු රෝහලට ගෙන යන විටද මිය ගොස් තිබිණ. එතැන් පටන් වජිර හා ගයන්ත රැකබලාගැනීම යසෝවතීට පැවරිණ. විමලදාසගේ රැකියාව පිළිබඳ ඇයට තිබුණේ මනා දැනුමකි. අවසානයේ යසෝවතී කසිප්පු වාඩියේ මූලිකයා බවට පත් වූවාය. විමලදාසගේ සගයන් සමඟ ඈ හරිහරියට එම ව්‍යාපාරය කිරීමට පටන් ගත්තාය. පොලිස් දැලට අසු වූ සැම අවස්ථාවකදීම ඇය නිදහස් කරගැනීමට කසිප්පු වාඩියේ සිටි ගුණේරිස් ක්‍රියාශීලිව කටයුතු කළේය. වජිරගේත්, ගයන්තගේත් අධ්‍යාපන කටයුතු නිම කරන තෙක් යසෝවතී හරිහම්බ කරගත්තේ කසිප්පු පෙරීමෙනි.

“මිනිස්සු ඒ දවස්වල කොයිතරම් කතා කිවුවද යසෝ නැන්දට… ගමේ පිරිමින්ට ගිනි වතුර පොවල මරන්න හදනවා කියලත් කිවුවා…”

සුමති එසේ පැවසුවේ වජිරගේ නවීනතම මෝටර් රථය දෙස නෙත් යොමු කරමිනි.

“ඔන්න… ගමේ අය කියනවා ගයන්ත නම් දැන් ගරු කටයුතු විදිහට ගිනි වතුර ව්‍යාපාරය කරනවා කියලා…”

සුමතිගේ කතාවට නැවතුමක් නැතිය. වජිරගේ සොහොයුරු ගයන්ත දැන් ජීවත් වන්නේද කොළඹ නගරයේය. ඔහු මුල සිටම මවගේ කසිප්පු ව්‍යාපාරය හෙළාදැක්කේය. උසස් පෙළ සමත්ව කොළඹට පැමිණි ගයන්ත පසුව මිතුරකුගේ මාර්ගයෙන් රටබීමහලක හිමිකරුවකු බවට පත් විය.

“යසෝ නැන්දා ඒ දවස්වල පොලීසියෙන් බේරිලා හිටියේ ඒ මහත්තුරු එක්ක තිබුණු ඇයිහොඳයිය නිසා කියලත් ගමේ කතාවක් තිබුණා. දැනුත් කියනවා. ඒත්… මං ඒ හැම වෙලාවකම නැන්දා වෙනුවෙන් කතා කරනවා…”

මේ සියල්ල සුමති නැවත පවසන්නේ කිනම් අරමුණකින්දැයි වජිරට සිතාගත නොහැකිය.

“වජිරයියා හිත නරක් කරගන්න එපා ඕවට… මිනිස්සුන්ගෙ හැටි දන්නෙ නැද්ද… මිනිස්සු කැමැති තවත් මිනිහෙක්ව හෝද හෝද මඩේ දාන්න නේ…”

සුමති ඔහුගේ ප්‍රකාශ පිළිබඳ නිදහසට කාරණා කියන ලෙසකි.

“මං යන්නම් වජිරයියේ… රෑ වුණා…”

සුමති ආපසු යන්න ගියේය. යසෝවතී ආලින්දයේ දොරකඩට විත් එබී බැලුවාය. ඇය සිට ඇත්තේ සුමති පැවසූ සියල්ල අසාගෙනය.

“අම්මේ… හෙටම කොළඹ යන්න ලෑස්ති වෙන්න. ආයෙ ඒකෙ කතා දෙකක් නෑ.”

යසෝවතී නිශ්ශබ්දව ගෙතුළට ගියාය.

https://www.silumina.lk/2025/07/05/news-features/44138/%e0%b7%84%e0%b6%82%e0%b7%80%e0%b6%a9%e0%b7%94%e0%b7%80/?fbclid=IwY2xjawLZcAhleHRuA2FlbQIxMQABHhfHmmpzydnnqcg9ZLkKlBnB0e7OUYEDWeF6mP-HDuyNEbRDmU1RdMNLDSWE_aem_50kEXziL1RgvnODdowMaRw


Nissanka Rajapaksa

unread,
Jul 8, 2025, 11:12:14 PMJul 8
to INDRAKA group
50
ඩිංගිරි නැන්දා කොළඹ ඇවිල්ලා 

- කරුණා පෙරේරා 

👇
Reply all
Reply to author
Forward
0 new messages