හින්දු, මුස්ලිම්, සීක් යන ජාතීන් තුනම මීට දින දෙක තුනකට කලින් සාමයෙන්, සමාදානයෙන් විසූ, දෙපස පේළි ගෙවල්වලින් සෑදුණු නගරය අද මීයට පිම්බාක් මෙන් නිසලය.
උදෑසන සිට නැවත දන්වන තුරු නගරයට ඇඳිරි නීතිය පනවා තිබිණි. නගරයම දිස් වූයේ අමු සොහොනක් ලෙසිනි. එසේ වූයේ මීට තෙදිනකට පෙර ජාතිවාදී කෝලාහල ඇති වීමත්, එහෙයින් පැනවුණු ඇඳිරි නීතිය කඩකරන්නන් හට දුටු තැන වෙඩි තබන්නට පොලිසියට අණ ලැබී තිබීමත් නිසාය.
ඇඳිරි නීතියේ නිශ්ශබ්දතාව බිඳ වැටුණේ තුවක්කු කර තබාගත් ආරක්ෂක භටයන්ගේ සපත්තු ගැටෙන හඬිනි. වෛරයෙන් ගිනි ගත් නිසල නගරයේ වීදි රැකවල් කළ පොලිස් නිලධාරීන්ට අමතරව දක්නට ලැබුණේ දඩාවත ප්‍රිය කරන බලු රංචුවක් පමණි.
හින්දු මුදලාලි කෙනකු වූ රාමන්ගේ ගෙමිදුලේ දේවි නමැති කැහැටු බැල්ල පැටවුන් වදා තිබිණි. ඇය නගරයේ සෑම වීදියකම සිටින බල්ලන්ගේ ‘කාගේත් සොඳුරිය’ වූ නමුදු මෙවර පැටවුන් වදන්නට ආවේ මේ හින්දු මිනිසාගේ ගෙමිදුල කෙළවරටය.
මෙදා දේවී බැල්ලට උපන් බලු පැටවුන්ගේ පියා වූයේ නගරයේ මුස්ලිම් කඩහිමියකු වූ කාසිම්ගේ නිවෙසේ සිටි උසස් පරපුරකින් පැවැත එන ‘ටයිගර්’ නම් වූ දැවැන්ත දඩබ්බරයාය.
දිගට වැඩුණු දුඹුරු මයිල්ගසින් පිරි ටයිගරයාට කාගේත් සොඳුරිය වූ කැහැටු දේවීගේ සිත දිනා ගැනීමට වැඩි ආයාසයක් දරන්නට සිදු නොවූයේ උගේ දඩබ්බරකම නිසාමය. නගරයේ සැරිසරන දඩාවත් බලු රංචුවම ටයිගරයා යනු මොකාදැයි හොඳින් දැන සිටියේය.
ඇඳිරි නීතිය නිසා පේළි ගෙවල් කිසිවක ඉදිරිපස ජනෙල් කවුළු පවා විවෘත කර නොතිබිණි. දේවී බැල්ල තම පෙම්වත් ටයිගරයා දින කිහිපයකින්ම දකින්නට නොවූ නිසා උපන් සිත් තැවුලින් යුතුව මුස්ලිම් කඩ හිමි කාසිම්ගේ නිවෙස අසල කිහිපවරක්ම රවුම් ගසා යළි රාමන්ගේ ගෙමිදුල කෙළවරටම ආවාය.
එහෙත් ඇයට ඔහු දැක ගැනීමට නොහැකි වූයේ කාසිම්ගේ නිවෙසද අගුළු ලා තිබුණු නිසාය. ටයිගර් අයිතිකාර කාසිම් උෟ ගෙතුළම සිර කර දැමුවේ ඇඳිරි නීතිය නිසා දඩාවතේ යන බලු රෑනෙන් තම සුරතලා ආරක්ෂා කර ගැනීමටය.
එදින සවස් වනතුරුත් තම පෙම්බරයා තමා සොයා නොපැමිණීම ගැන උරණව සිටි දේවී හින්දු රාමන්ගේ නිවෙසේ පිල අද්දර කම්මැළිව තම පැටවුන් තුරුලු කර ගෙන වකුටුව නිදා සිටියාය.
එහෙත් එක්වරම අෑ තිගැස්සී හිස ඔසවා මහපාර දෙස බැලුවේ අෑතින් බලු රෑනකගේ හඬක් ඇසුණු බැවිනි. ඇගේ තනිය මකන්නට රාත්‍රියේ කවුරුන් හෝ අෑ සොයා එන වග ඇයට විශ්වාසය. බල්ලන්ගේ බිරුම් හඬ, පොරකෑම් හඬ ඇයට නුදුරින්ම ඇසෙන්නට විය. අෑ හිස ඔසවාගෙනම සිටියාය.
කෙසේවුවත් එදා රාත්‍රියේ දේවීගේ තාවකාලික හිමිකරු වූයේ වීදියේ බලු පොරයෙන් ජයගත් නමක් නොමැති හොරිකඩ කළු බල්ලාය.
අෑතින් ඇසුණු ඒ බලු පොරයේ කරච්චල් හඬ රාමන්ගේ නිවෙස තුළ හිර වී සිටි ටයිගරයාටද ඇසිණි. ටයිගරයාද පසු වූයේ දින ගණනාවකින් තම සුපෙම්බර් කැහැටු දේවිය හමුවන්නට නොහැකිවීම ගැන බලවත් සිත් තැවුලිණි.
මඳකට හෝ කාසිම්ගේ නිවෙසින් එළියට පැන ගැනීමේ අදහසින් ටයිගරයා වරක් දෙවරක් කෙඳිරි ගෑවේය. එහෙත් තද නින්දේ ගොරවමින් සිටි කාසිම් අවදි කිරීමට තරම් ඒ කෙඳිරුම් හඬ බලවත් නොවීය.
ටයිගර් උඩුබුරුලන්නට පටන් ගත්තේ එනිසාය. උඩු බුරුලන හඬින් එක්වරම උඩ ගොස් බිම වැටුණු මුස්ලිම් මිනිසා තම බල්ලාට යස පාඩමක් උගන්වන්නෙමියි සිතා තම යහනින් බිමට පැන්නේය.
එන පොට හොඳ නැති බව වටහාගත් ටයිගරයා හැකි තරම් වෙර යොදා තම ගෙල බැඳි කරපට කඩා ගත්තේය. ඉන් තවත් කෝපයට පත්වූ කාසිම්, අතට අසුවූ පොල්ලක්ද රැගෙන බල්ලා පසුපස හඹා ගියත් ඒ වන විට උෟ ගෙතුළවූ සියලු කවුළු පැන එළියටද දිව ගොස් හමාරය.
වීදියට පැන්න ටයිගරයා එක එල්ලේම තම පෙම්වතිය, දේවී සොයා රාමන්ගේ මිදුල අසලට පිම්මේ දිවුවේය. එහෙත් උෟට දැකගත හැකි වූයේ තම පෙම්වතිය සමඟ තුරුලුව සිටින කළු හොරිකඩයා ය. ඒ දුටුවනම ටයිගරයා කෝපයෙන් දැවෙමින් කළු බල්ලා සමඟ ද්වන්ද්ව සටනක පැටලුණේය.
දෙදෙනා අතර යුද්ධයේ භයානක ස්වරූපය දුටු වහාම දේවී ඇගේ පැටවුන් සමඟ පසෙකට වූවාය. රාත්‍රියේ නිශ්ශබ්දතාව නැවතත් බලු පොරයෙන් සසල වෙද්දී නගරයේ බලු රංචුවම ඊට එක් වූහ.
රාමන්ගේ ගෙමිදුල එකම බලු පොර පිටියක් වීමට ගතවූයේ විනාඩි කිහිපයකි. හින්දු මුදලාලිගේ මිදුලෙන් නැඟුණු බලු ඝෝෂාව නිසා ගෙතුළ සිටි රාමන්ගේ සුවපහසු නින්දට වූයේද බධාවක් බව නොකිවමනාය.
ඇවිස්සුණු නගරවාසීන්ගෙන් තමන්ට යම් කරදරයක් සිදුවුවහොත් ඊට නිසි පිළිතුරු දීමට යැයි සිතා තම ෙදාරමුල්ලේ සඟවා තිබූ වැලි බෝතල් හා ගල් ගොඩෙන් තඩි ගලක් ගෙන එක්වරම ෙදාර හැරි රාමන් බල්ලන් සිටි දෙසට ගල දමා ගැසුවේ කුණුහරුපයක්ද කියමිනි.
අවාසනාවක මහත! ඒ ගල වැදුණේ බල්ලන්ට නොව තම සුරතල් ටයිගරයා අල්ලා ගැනීමට උෟ පසුපසින් දිව ආ කාසිම් නමැති මුස්ලිම් මිනිසාගේ හිස මතටය.
බලාපොරොත්තු නොවූ ගල් පහර හිසේ වැදීමෙන් පොල්ලක් අතැතිව සිටි කාසිම් “අල්ලාහ්… මෙන්න මිනීමරනෝ…” යි කෑ ගැසීය.
බලු, රෑන සී සී කඩ විසිර ගියහ. සීක්වරුන්ගෙන් පල්ලියෙන් රණබෙර හඬ නැඟීමටද වැඩි වේලාවක් ගත නොවීය. ඇඳිරි නීතිය කඩ කරමින් සීක්, මුස්ලිම්, හින්දු මිනිසුන්ගෙන් රාමන්ගේ නිවෙස අසල මහපාර පිරී ගියේය.
“ගලකින් ගහලා!” යන්න “ගල්වලින් ගහපල්ලා!” යනුවෙන්ද ‘මිනීමරනෝ’ යන්න “මරපියව්! කොටපියව්!!” යන මිනීමරු විධානයක්ද මිනිසුන් අතරින් ඇසිණි.
කඩු, පොලු, ගල්, මුගුරු උසුලා ගත් මිනිසුන්ගේ ප්‍රහාරයක් රාත්‍රියේ අඳුර අතරින් දිස් විය. කිසිවකු විසින් තැබූ ගිනිහුලක් නිසා තවත් මොහොතකින් රාමන්ගේ නිවෙස ගින්නෙන් දැවෙන්නට විය.
රාමන් පසුපස ෙදාරකින් පැන ගොස් අඳුරේම සැඟවී ගත්තේය. ගින්න පේළි ගෙවල් කිහිපයක්ම දවමින් දිගටම පැතිරී ගියේය.
පොලිස් නළා හඬ ළඟම ඇසෙත්ම පිරිස හිස් ලූ ලූ අත දිව ගියත් ආරක්ෂක භටයන්ගෙන් පහර කෑ කිහිපදෙනෙක්ද ඒ අතර වූහ. භට පිරිස රැගෙන ආ වාහනය තුළට පහර කෑ කිහිපදෙනෙකු තල්ලු කරනු පෙනිණි. තුවක්කු කටවල් තුළින් වරින්වර ගිනි සැරද නික්මිණි.
තවත් පැය කිහිපයකින් මුළු නගරයම නැවතත් සන්සුන් විය. බලු රංචුව නගරයේ අෑත කොනකට ගොස් සිටියහ. ඇඳිරි නීතිය පසුදා තවත් සතියකින් දිගු කෙරිණි. කලබලකාරී තත්ත්වය සංසිඳීමට තවත් දින කිහිපයක් ගත විය.
නිවෙසින් පැන ගොස් සැඟවී සිටි හින්දු මිනිසා රාමන් කලබල නිමා වූ පසු නැවතත් නගරයේ සිය නවාතැන බලා ආවේය. ඒ මාස හය හතකට පසුවය. එහෙත් ඔහුට දැක ගත හැකි වූයේ දැවී අළු වී ගිය තම නිවෙසේ සුන්බුන් රැසක් පමණි. ඊට එහායින් වූ නිවෙස් රැසකටම එයම සිදු වී තිබෙනු ඔහු දුටුවේය.
ගෙමිදුලේ පිල්කොනේ සිටි දේවී දින ගණනාවකට පසු තම ස්වාමියා වූ රාමන් පැමිණි බව අෑතින් දුටුවාය. එහෙත් දේවීට රාමන් අසලට යෑමට නොහැකි වූයේ අෑ පැටවුන්ට කිරි පොවමින් සිටි නිසාය. ඒ පැටවුන් කළු හොරිකඩයාගේද, නැතිනම් තමාගේද යන්න නොදත් උසස් කුලයේ ටයිගරයාද අෑ අසල විය.
දින කිහිපයකට පෙර අපගේ දරුවන්ගේ ගුරුවරිය වූ යූලියා වැසිලියෙව්නාට මගේ කාර්යාලයට පැමිණෙන ලෙස දැන්වූයේ ඇගේ ගනුදෙනු පියවීම පිණිසයි.
“වාඩිවෙයන්, යූලියා වැසිලියෙව්නා” මම ඇයට අසුනක් දක්වා පැවැසුවෙමි. “අපි දැන් අපේ ගනුදෙනු බේර ගනිමු. මම විශ්වාස කරනව නුඹට මේ දිනවල මුදල් ඕනැ කරනව ඇති කියල. ඒත් නුඹේ යටහත් පහත්කම ඕනැවටත් වැඩි හින්ද කොච්චර අමාරු වුණත් කටක් හොල්ලල නුඹ කතා කරන්නෙ නෑ. හොඳයි… දැන් අපි ගණන් බලමු. අපි පොරොන්දු වුණේ මාසෙකට රූබල් තිහක වැටුපක් ගෙවන්නයි. එහෙම නේද?”
“අනේ නෑ… මහත්තයො… රූබල් හතළිහක් ගෙවන්ඩනේ පොරොන්දු වුණේ.”
“නෑ තිහයි… මම මේ පොතේ ඒ ගැන සටහනකුත් යොදලයි තියෙන්නෙ. ඇරත් මම කවදත් ළමයින්ගෙ ආයලට ගෙවන්නෙ රූබල් තිහක් විතරයි..! හොඳයි… දැන් ඉතින් අපි ගණන් බලමුකො… නුඹ මෙහාට ඇවිත් අදට හරියටම මාස දෙකයි…”
“නෑ මාස දෙකයි. දවස් පහයි…”
“පිස්සු…ද? අදට හරියටම මාස දෙකයි. මම මේ සේරම පැහැදිලිව මේකෙ ලියලයි තියෙන්නෙ… ඒ අනුව නුඹට ගෙවන්න තියෙන්නෙ රූබල් හැටයි… ඒකෙන් ඉරිද දවස් නවයක වැටුප් කැපෙන්ට ඕනැ… නුඹ ඒ දවස්වල කෝල්යාත් එක්ක එළිපහළියෙ ඇවිදින්න ගියා මිසක් කෝල්යාට අකුරක්වත් උගන්වන්න උඹට වුවමනාවක් තිබුණෙ නැහැ. ඒ හැර මෙතැනින් තව නිවාඩු දවස් තුනක් අඩුවෙන්න ඕනැ.”
ඇගේ මුහුණ රතු වී, බෙරි වී, ගිය අතර ඇය ඇඟිලි තුඩුවලින් ගවුම් වාටිය කොනහන්නට වූවාය. එහෙත් එක් වදනක්වත් ඇය නොදෙඩුවාය.
“ඔව්… එතැන නිවාඩු දවස් තුනයි. ඒ දවස් තුනට කැපෙන්න ඕනැ මුළු ගණන රූබල් ෙදාළහයි. කෝල්යා අසනීපවෙලා හිටිය දවස් හතරක්. ඒ දවස් හතරෙ නුඹ කෝල්යාව බලා කියා ගත්තෙ නැහැ. නුඹ කළේ වාන්යාව බලා ගැනීම විතරයි. ඒ හැර දවස් තුනක් නුඹට දත් කැක්කුම හැදිල තිබුණ. ඒ දවස්වල මගෙ නෝන රෑ කෑමෙන් පස්සෙ නුඹට නිවාඩු දුන්න… එතකොට ෙදාළහයි, හතයි දහ නවයයි. තවත් දහ නවයක් අඩු කළහම ඉතිරි වෙන්නෙ… ම්… ම්… රූබල් හතළිස් එකයි… හරි නේද..?”
යූලියා වැසිලියෙව්නාගේ වම් ඇස රත් පැහැ ගැන්වී කඳුළින් පිරිණි. ඇගේ නිකට වෙව්ලන්නට විය. නොසන්සුන් විලසින් ඇය කහින්නටද, නැහැය සූරන්නටද වූවාය. එහෙත් වදනක්වත් ඇය කතා නොකළාය.
“අලුත් අවුරුදු දවස්වලදි නුඹ තේ කෝප්පෙකුයි… පීරිසියකුයි බින්ද. ඒකට අඩු තරමේ රූබල් දෙකක්වත් අයකර ගන්ඩ ඕනැ. නිවැරැදිව බලනව නම් තේ කෝප්පෙ ඊටත් වඩා වටිනවා… “ඒක පරම්පරාවෙන් උරුම වෙච්ච පැරැණි කෝප්පයක්! කමක් නෑ… ඒක අල්ලලා දාමුකො… ඔයිට වඩා පාඩු අපි විඳල නැතුවයැ. නැද්ද..? ඊගාවට නුඹේ නිසි සැලකිල්ලක් නැති වීමෙන් කෝල්යා ගස් බඩගාන්ඩ ගිහිං අපූරු කමිසයක් ඉරා ගත්තා… ඒකට රූබල් දහයයි… ආයෙත් නුඹේ නොසැලකිල්ල නිසා මෙහෙකාර කෙල්ල වාන්යාගෙ සපත්තු කුට්ටමක් හොරකම් කළා… ගෙදර බඩු පරිස්සම් කරන එක නුඹට අයිති වැඩක්… ඒකට තමයි අපි නුඹට හොඳ වැටුපක් ගෙවන්නෙ. ඒකට රූබල් පහක් කපනව. ඒ හැර ජනවාරි මාසෙ දහ වැනිදා නුඹ මගෙන් රූබල් දහයක් ණයට ඉල්ල ගත්ත…”
“අපොයි නෑ. මම මහත්තයගෙන් කීයක්වත් ණයට ඉල්ලගෙන නෑ.” යි යූලියා වැසිලියෙව්නා බිය පත් පහත් ස්වරයෙන් කෙඳිරි ගෑවාය.
“මේ බලපං… ඒවා මෙතැන ලියලයි තියෙන්නෙ.”
“හා… එහෙනම් කමක් නෑ…”
“හතළිස් එකෙන් විසි පහක් ගියාම… ම්… දාහතරක් ඉතුරුයි.”
ඇගේ දෑස කඳුළින් පිරී ගියේය. ඇගේ සිහින් දිගැටි මනහර නැහැය මත දහ බිඳු නැඟෙන්නට විය. අසරණ දැරිවිය…!
“අනේ මහත්තය. මම සල්ලි ඉල්ල ගත්තෙ එකම එක වතාවයි. ඒ මහත්තයගෙ නෝනගෙන් රූබල් තුනක් විතරයි… ඊට වඩා කීයක්වත් ණයට ගත්තෙ නෑ”යි ඇය වෙව්ලුම් ස්වරයකින් බැගෑපත්ව පැවැසුවාය.
“අෑ… නුඹ ඔය කියන්නෙ ඇත්තමද? මම ඒක මෙතැන ලියා ගෙන නෑ. එහෙම නම් දාහතරෙන් තව තුනක් අඩු කරන්ට ඕනෑ. එතකොට ඉතුරු වෙන්නෙ එකොළහයි. මෙන්න නුඹේ වැටුප්… මගේ ආදරණීය කෙල්ලෙ… තුනයි… තුනයි… තුනයි… එකයි. එකයි. දැන් හරි නේද ගණන..?
රූබල් එකොළහක් මම ඇයට ගෙවීමි. සැලෙන ඇඟිලිවලින් යුතුව එය අතට ගෙන පසුම්බියෙහි ලාගත් ඕ ස්තුති පූර්වකව “මහත්තයට පින් සිද්ද වෙනවා…”යි මුදු ස්වරයෙන් කොඳුළාය.
ඉහවහ ගිය කෝපයෙන් අසුනින් පිනූ මම කුටියෙහි ඔබ මොබ සක්මන් කරන්නට වීමි.
“මොනවටද පිං සිද්ද වෙනවයි කිව්වෙ..? යි මම තරමක් සැරෙන් පිළිවිසිමි.
“මට දුන්න සල්ලිවලට..!”
“නුඹට පිස්සුදැ”යි මම මහ හ¾ඩින් ගුගුළෙමි. “නුඹට තවම තේරෙන්නෙ නැද්ද..? මම නුඹව රැවැට්ටුවා. නුඹට පෙනි පෙනීම මං නුඹේ ශ්‍රමය මංකොල්ල කෑව… එහෙව් මට නුඹ පින් දෙන්නෙ මොන කෙහෙල්මලකටද?”
“අනේ මහත්තයො. වෙන ගෙවල්වල මම කැඹුරුවාට මට වැටුප් කියල සතයක්වත් දුන්නෙ නෑ…”
“මොනව..? සතයක්වත් ගෙව්වෙ නෑ..? නුඹේ හැටියට පුදුම වෙන්ඩ කාරියකුත් නෑ. මම කළේ දරුණු උප්පරවැට්ටියක්. ඔව්. නීච රැවටීමක්. නුඹට අයිති රූබල් අසූව අඩුවක් නැතිව මම ගෙවනව. අර ලියුම් කවරෙ ඇතුළෙ නුඹේ සල්ලි ටික ඇති. නුඹ මෙහම බියගුලු වෙන්නෙ ඇයි..? අසාධාරණයට එරෙහිව සටන් නොකරන්නෙ මොකද..? ඇස් පනාපිටම සූරා කද්දි කට වහගෙන ඉන්නෙ ඇයි..? කැත්තට පොල්ල වගේ ඉන්නෙ නැතුව නුඹ මේ ලෝකෙ ජීවත් වෙන්නෙ කොහොමද..? නුඹට පිට කොන්දක් නැද්ද..? හැම දේකටම ඔළුව පාත් කරගෙන මෙහෙම නිවට වෙන්නෙ ඇයි..?”
මගේ දැඩි අවලාද හමුවේ මුහුණ අඳුරු කර ගත්තද ඕ යටහත් පහත් සිහින් සිනාවක් පෑවාය. ඇගේ මුහුණින් මතුවූ හැඟීම් තුළින් මට පසක් වූයේ කෙනකුට මෙලෙස දීන ගති තිබිය හැකි බවයි.
මෙබඳු කෘෘර පාඩමක් ඉගැන්වීම පිළිබඳව මම ඇගෙන් සමාව අයැදීමි. රූබල් අසූව ඇය අත තබත්ම නොසිදු විය හැක්කක්, සිදු වූවා සේ මහත් විස්මයට පත් ඕ නැවැත නැවැතත් මට පින් දෙමින් කුටියෙන් පිට වූවාය. අෑ පියමන් කරන දෙස නිරීක්ෂණාත්මකව දැස දල්වා සිටි මට සැර පරුෂ වීම කෙතරම් පහසුදැයි සිතිණි.
සල්වා පාරෙ සනේයා පැත්තට යන වාහනේ වේගෙ ටිකෙන් ටික වැඩි වුණා. වාහනය පදවගෙන ගියේ ඉන්දියාවෙන් ආපු නරේෂ්. ඒ වෙද්දි මගේ හිතත් කොහොමත් කැලඹිලා තිබුණ නිසා වාහනේ වේගෙ මට වැඩියෙන් දැනුණ ද කියන්න බෑ. කොහොම වුණත් කැලඹීම නම් හිතෙන් පහවෙන එකක් නෑ. ඒ සිද්ධිය කියන්න කලින් මට ආපහු පරණ කතාවක් කියන්න වෙනවා.
ලංකාවෙන් එද්දි මට කාත්කවුරුවත් ඉතුරු වෙලා හිටියෙ නෑ. එදා අවුරුදු දවසක්. අවුරුද්ද ලබාගෙන එද්දිම අපේ ගෙවල්වලට පාත් වුණේ කුණු කන්ද. මම ඇරෙන්න ගෙදර අනිත් හැමෝම හිටියා. හැම දේටම ගිහින් තිබුණේ විනාඩි දහයක් වෙන්නැති. අම්මයි, තාත්තයි, මල්ලියි තුන්දෙනාම එතනමයි. මාමගෙ පවුලෙන් කවුරුවත් බේරුණෙ නෑ.
අපි කුණු දාන්න කිවුවෙ නෑ. හැබැයි අනුන්ගේ කුණු කන්දට යට වෙලා මැරුණෙත් මිනිස්සු. ඔව්, අපි කුණුවලින් ජීවත් වුණා තමයි. අපිට විකල්ප තිබ්බ කියන්න ඕනැ කෙනෙක්ට පුළුවන්. ඒත් එහෙම කියන අය එක රැයක් මේ කුණුත් එක්ක නිදාගන්නෙ නෑ.
මම වැඩ කරමින් හිටියෙ බියගම කලාපෙ ගාමන්ට් එකක. අවුරුදු දවසෙ වුණත් නිවාඩු දෙන්න බෑ කියලා ලොක්ක කිවුවෙ මගේ වාසනාවටද, අවාසනාවටද කියල හිතාගන්න බැහැ. සමහර විට එහෙම වුණා නම් මමත් ඒ කුණු කන්දටම යට වෙන්න තිබුණා. ඒත් නිවාඩු නැතිව මාස දෙකක් වැඩ කරලත් නිවාඩු දෙන්න ලොක්ක කැමැති නෑ. සේරම නැති වුණාට පස්සෙ ජීවත් වීමේ පලේ මොකක්ද? ඒත් මම ජීවත් වෙන්න තීරණය කළා. අවුරුදු විසිදෙකක කොල්ලෙක් එතකොට මම. ජීවිතේ දරාගැනීම ලේසි වුණේ නෑ. මම යාළුවෙක්ගෙ ගෙදර නැවතිලා හිටියෙ ඒ දවස් ටිකේ. රෑට හීනෙන් දකින්නෙ පවුලෙ අය යට වෙලා ඉන්න විදිහ. උදේට නැඟිටින්නෙ ඒ හීනෙන්. කුණු කන්ද පාත්වෙද්දී මම කෑගහගෙන දුවනවා. ඒත් කොච්චර දිව්වත් මට ළඟට යන්න බෑ. දුවන්න දුවන්න තව තවත් ගෙදර ඈත් වෙනවා.
කලාපෙ රස්සාවට යන්න මම තීරණේ කළේ ඒ ජීවිතේ මට තිත්ත වෙලා තිබුණ නිසා. තාත්තගෙ රස්සාවෙ ඉඳන් අපේ ගෙවල් තිබුණ කුණු කන්ද දක්වා හැම දෙයක්ම මගේ ආත්මය පලුදු කරමින් තිබුණා. ඉස්කෝලෙදි සිද්ධ වෙච්ච බොහෝ දේවල් දරාගන්න බැරි තරම්. යාළුවෙක්ගෙ මඟපෙන්වීම හරහා තමයි මට සිද්ධිය වෙලා මාස දෙකකට පස්සේ කටාර්වල සුපර් මාර්කට් එකක රස්සාවට එන්න ලැබෙන්නේ. මට ලැබුණෙ බැගර් ජොබ් එකක්. බැගර් කියන්නෙ කැෂියර් ළඟ ඉඳන් කස්ටමර්ස්ලා ගන්න බඩු බෑග්වලට අහුරලා දෙන එක. සමහර වෙලාවට වාහනේටම ගිහින් දෙන්න වෙන වෙලාවලුත් තියෙනවා.
ලංකාවෙන් ඈත් වීම නිසාද, අධික ලෙස කාර්යබහුල වීම නිසාද මන්දා මගේ හිතේ දුක ටිකක් පහ වෙලා ගියා. කතාව කියන අතරේ ලොකු වැස්සක් වැටෙන්න ගත්තා. කටාර්වලට වහින්නෙ හරිම අඩුවෙන්. ඒත් සනේයා පැත්ත යට වෙන්න වැහි වැටෙන වෙලාවල් තියෙනවා. මේ වැස්සත් එහෙම එකක්ද මන්දා. ඈතින් පේන දුඹුරු පාට කාන්තාරයට වැස්ස වැටෙන හැටි බලන් ඉන්න හිතෙන දර්ශනයක්. හැමදේම වැස්සේ බොඳ වෙලා යන අපූරුව! කාන්තාරෙත් හරියට මගේ හිත වගේ. මට තත්පරේකට හිතුණා. ඒත් ඒකට වැස්සක්? විවිධ සිතුවිලි ඇඳිලා මැකිලා ගියත් මගේ හිතේ කැලඹීම නම් පහවෙලා ගියේ නෑ. මොකද, තවත් ඛේදවාචකයක් ජීවිතේට එන බවක් මට හැඟිලා තිබුණ නිසා.
කටාර්වලට ආපු මුල් කාලේ හරිම දරුණු සීතලක් තිබුණා. දෙසැම්බර්, ජනවාරි කියන්නෙ මෙහෙට තදම සීත කාලේ. ඇත්තම කිවුවොත් මට ජැකට් එකක් ගේන්න බැරි වුණා. බැරි වුණා කිවුවට ගන්න සල්ලි තිබුණෙත් නැහැ. ඒජන්සියට ලක්ෂයක්, අනිත් වැඩවලටත් එක්ක සේරම ලක්ෂ දෙකක්වත් යන්න ඇති. ඒකෙන් ලක්ෂ එකහමාරක් පොලියට ගත්තේ. යාළුවෙක් තමයි ඒක පොලියට අරන් දුන්නේ. ඇවිත් මුල් මාස හයේ ඒක ගෙව්වා මිසක් ඉතුරුවක් කරන්න ලැබුණෙ නැහැ. ඉතුරු කළා නම් ඔය විඩින් විඩේ ලැබුණු රියාල් පහ දහය තමයි. මුලදි ජීවිතේ දරාගන්න එක ලේසි වුණේ නැහැ. හැම දෙයක්ම අලුත්. භාෂාවල් අලුත්. එකම දේ මට දෙමළ ටිකක් කතා කරන්න පුළුවන්කම තිබුණා. ඒ නිසාම ලංකාවෙන් ආපු මුස්ලිම්, දෙමළ අයත් එක්ක වගේම දෙමළ දන්න මලයාලි, කේරළ අය එක්කත් කතා කරන්න පුළුවන් වුණා. මනාස් අයියා තමයි මට ගොඩක්ම හිතවත් වුණේ. එකට උයාගෙන කාපු අපේ කට්ටියෙ මනාස් අයියා, නියාස්, චින්තක, ප්‍රසන්න, රාජා වගේ හැම ජාතියකම අය හිටියා. හැමෝටම පොදු භාෂාව වුණේ දෙමළ.
මට ඉස්සෙල්ලම වැඩ කරන්න ලැබුණෙ පිලිපීන් කෙල්ලෙක් එක්ක. කෙල්ලෙක් කිවුවට මට වඩා අවුරුදු අටක් විතර වැඩිමල්. එයා එතන කැෂියර්. මම බැගර්. එයාගෙ නම මියා. ඒක දාගත්තු නමක්. නම වගේම සුන්දරයි; ඒ වගේම හරිම හොඳයි. එයා මට කතා කළේ කුයා කියල. කුයා කියන්නෙ පිලිපීන තගලොග් භාෂාවෙන් සහෝදරයාට ළඟින් යන වචනයක්. මට හැමදාම මියා එක්ක වැඩ කරන්න ලැබුණෙ නැහැ. මොකද, අපිව එකම අය ළඟ තිබ්බෙ නැහැ. වරින් වර මාරු කළා. මොකද, කාලයක් එකටම වැඩ කරද්දි හොරකම් කරන්න අවස්ථාවක් තියෙන බව කොම්පැනිය දැනං හිටියා. කැෂියර් ජොබ් එක හරිම වෙහෙසකර එකක්. හැමදේම බැලන්ස් කරලා යද්දී පැය නවය වෙනුවට පැය දහයක්වත් වැඩ කරලා. ඒවට ලැබෙන ඕටී එකකුත් නැහැ. ඒජන්සිවලින් නම් කියන්නේ තත්පරේටත් ඕටී ගෙවනවා කියලා. ඒ අතින් පඩි අඩු වුණත් බැගර් ජීවිතේ මරු.
මියායි මායි අතරෙ ටිකක් වෙනස් සම්බන්ධයක් තිබුණ කිවුවොත් හරි. ඒක ආදර සම්බන්ධයක් නම් නෙමෙයි. මියාට හිටියා දුවෙක්. එයා හැදුණෙ මියාගෙ අම්ම ළඟ. මැනිලාවලින් කිලෝමීටර් 100ක් විතර එහා ටවුමක තමයි මියාගෙ අම්ම ඉන්නේ. මියා සින්ගල් මදර් කෙනෙක්. එයාට සැමියෙක් නෑ. මුලදි මට ඒක අරුමයක් වුණත් පිලිපීන තරුණියො බහුතරයක් සින්ගල් මදර්ලා කියලා පස්සෙ මම දැනගත්තා. ඒක ඛේදවාචකයක්ද නැද්ද කියන්න මට දැනුමක් නැහැ. ඒත් ඒක එහෙමයි. ඒ හුඟක් අය ළමයි හදලා තියෙන්නේ වයස දහඅට විස්ස කාලෙදි. දැන් එයාලගෙ ජීවිතේ ඒ ළමයිව ලොකු කරන එක. හැබැයි ඒ අතරෙදි තමන්ගෙ ජීවිතේ විඳින්න අමතක කරන්නෙත් නැහැ. පිලිපීන කෙල්ලො කොහොමත් හැඩට ඉන්න කැමැතියි. පඩියෙන් වැඩි කොටසක් ලස්සන වෙන්න ගාන දේවල්වලට වියදම් කරන අයත් නැතුව නෙමේ.
වාහනේ සනේයාවලට ඇතුළු වෙනකොට මගේ තිගැස්ම වැඩි වුණා. සනේයා කියන්නේ කටාර්වල කර්මාන්ත පුරය කියන්න පුළුවන්. වැඩියෙන්ම තිබ්බෙ ගබඩා. සනේයා විවිධ කොටස්වලට වෙන් කරලා තිබුණා. අපේ ගමනාන්තය සනේයා 52. සනේයා කියන්නේ හරිම අමාරු හරියක්. දූවිල්ල ඉතිරිලා යනවා. සවුදි දේශසීමාවට ළඟ හින්දා ඒ කාන්තාරෙන් එන වැලි හුළඟ කෙළින්ම සනේයාවලට පහර දෙනවා. ඒ වගේම පාරවල් හරියට හැදිල නෑ. වැස්සට ගංවතුර. මේ වෙලාවෙත් පාරවල්වල වතුර පිරිලා වැස්සට. හැමතැනම ඕවරෝල් ඇඳගත්තු මිනිස්සු. දූවිලිවලට වැස්ස වැටිලා ඇඳුම් මඩ ගොඩවල් වෙලා. ඒත් ඒවා මාරු කර කර වැඩ කරන්න වෙලාවක් නැහැ.
කාත්කවුරුවත් නැතිව කටාර්වලට ආපු මට මියා ඉක්මනට සමීප වුණා. මට මියාගෙන් සහෝදරියකගෙ ආදරය ලැබුණා. සමහර වෙලාවට ඒකට වෙන අර්ථයකුත් තිබුණා, සහෝදරියක් කියන්න බැරි. මම හිටියෙත් අපේක්ෂා භංගත්වයේ උපරිමේ. ඒ නිසා අදටත් ඒ සම්බන්ධයට අර්ථයක් දෙන්න මට තේරෙන්නෑ වගේම මට ඕනැත් නැහැ. හැබැයි මියා කියන්නේ හරිම ආදරණීය චරිතයක්. මම දන්නෙ එච්චරයි. මීට මාසෙකට කලින් මියාව හොරකමකට අහු වුණා. ඒ බිල් නොකර බඩු වගයක් පැන්නුවා කියන චෝදනාව. සීසීටීවී බලද්දී ඒක ඇත්ත වුණා. මට මතකයි එදා හැන්දෑවෙ මියා මගේ උරිස්ස බදාගෙන ඇඬුවා. මියාට ඕනැ වුණේ උරහිසක් ඒ වෙලාවේ. මියා තමන්ගේ වැරැද්ද පිළිගත්තා. ඒ වගේම ඒක එයා කරපු පළවෙනි අවස්ථාව නෙමේ කියලා මියා කිවුවා. එයා කාලයක් තිස්සේ මේ දේ කරගෙන ඇවිත් තියෙනවා. මම ඇහුවා “අතේ (තගලොග් භාෂාවෙන් සහෝදරිය කියල කරන ආමන්ත්‍රණය), ඇයි එහෙම කළේ?”
“මගේ දුවගෙ පපුවෙ හිලක් තියෙනවා. ඒකට ඔපරේෂන් එකක් කරන්න ඕනැ. ඒකට ලොකු මුදලක් යනවා. මම මෙහෙට ආවෙත් ඒකට. ඒත් අපිට කියපු පඩිය නෙමෙයි ලැබුණෙ. බෝනස් දෙනව කිවුවට කම්පැනියෙන් ඒ මුකුත් නැහැ. අඩුම ගාණේ ඕටී එකත් නෑ. ඔපරේෂන් එකට වැඩි කාලෙකුත් නැහැ. මම මොකද කරන්නෙ කුයා?”
මියාට දෙන්න උත්තරයක් මට තිබුණෙ නැහැ. මේ කටාර්වලදි මියාට කරන්න පුළුවන් දේවල් තිබුණා. ඒත් මියා තමන්ගෙ ඇඟ පාවලා දෙන්න කැමැති වුණ කෙනෙකුත් නෙමේ. එතැන තියෙන්නෙ ගෞරවය ගැන කාරණයක් නෙමේ; කැමැත්ත ගැන කාරණයක්. ඔව්, මියා වැරදිද? මට තේරෙන්නෙ නෑ අදටත්.
අපි සනේයාවල සිද්ධිය වුණ තැනට ළඟා වුණා. සේවකයන්ගේ නේවාසිකාගාරයක පැත්තක් කඩන්වැටිලා. හතළිහකට විතර තුවාලයි. අට දෙනෙක් දැනටම නැති වෙලා කියල ආරංචියි. ඔව් මියාත් එක්ක. මට මාව පාලනය කරගන්න බැරි වුණා, මියාගෙ පොඩිවෙච්ච මිනිය දැක්කම. හොරකමෙන් පස්සෙ මියාව සනේයාවලට මාරු කළේ දඬුවමක් විදිහට. අන්තිමට මියාට ලැබුණෙ ඒ දඬුවම විතරක් නෙමේ. මට මියාගෙ දුවව මතක් වුණා. ඒ හුරුබුහුටි කෙල්ලට මොකක් වෙයිද? දැන් කවුද එයාගෙ ඔපරේෂන් එකට සල්ලි යවන්නේ?
මියාගෙ සියුමැලි අතක තිබුණ ඇය තදින් අල්ලන් හිටිය යමක්. කාටවත් නොපෙනෙන්න මම අත දිගෑරලා බැලුවා. රියාල් දෙදාහක්. මියා ගෙදරට සල්ලි යවන්න ලෑස්ති වෙලා එළියට බහින්න හදපු වෙලාවෙ වෙන්නැති බිල්ඩිම කඩන් වැටුණෙ. මට තවත් එතැන ඉන්න බැරි වුණා. මගේ ජීවිතේට දෙවැනි පාරටත් යමක් කඩන්වැටුණා වගේ දැනුණා. මම හිමීට ඇගේ අත එහෙමම ගුළි කරලා ආවා. බිල්ඩිමට එහායින් තිබුණෙ කාන්තාරෙ, සවුදි සීමාව. මට අම්මව, තාත්තව, මල්ලිව ආයෙත් මතක් වුණා. ඒ අය යට වෙලා හිටපු විදිහ කුණු කන්දට… දැන් මියා බිල්ඩිමට යට වෙලා හිටපු විදිහ… මගේ දෑස් බොඳ වෙන්න ගත්තා.
--
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
To view this discussion visit https://groups.google.com/d/msgid/indraka/CAFRcW-Lk1STEcU2uEaARraQYFTt5q8nJo8BHGBQpuZYT02YMYg%40mail.gmail.com.
කුමාරිකාව හිටියේ රාජකීය උයනේ, මල් එක්ක කතා කරමින්. ඈ වාඩි වෙලා උන්නේ කුරුලු පිහාටුවලින් හදපු පහත් පුටුවක. ඔළුවෙ රිදී පාට පුංචි ඔටුන්නක් දාගෙන හිටිය නිසා පහළින් පිපුණ මල් එක්ක කතා කරන හැම පාරකම ඔටුන්න බිම වැටුණා. ඔටුන්න බිම වැටෙන හැම පාරකම ගෙඹි යුවළක් පිමි දෙකට පැනලා ඇවිත් ඔටුන්න අහුලනවා. ඊට පස්සෙ හාවො දෙන්නෙක් කන් හොල්ල, හොල්ලා ඇවිල්ලා ගෙම්බො දෙන්නා අතින් ඔටුන්න ගන්නවා. ඊටත් පස්සේ බෙල්ලෙ මෆ්ලර් ඔතාගත්තු ඌරො දෙන්නෙක් ඇවිත් හාවො දෙන්නගෙන් ඔටුන්න අරගෙන කුමාරිගෙ අතට දෙනවා. තඹ කොණ්ඩෙ පොඩ්ඩක් ගස්සලා කුමාරි ඔටුන්න ඔළුවෙ දාගන්නවා.
හරි මහන්සි වැඩක් බව කියවන ඕන කෙනෙකුට දැනෙනවා වුණාට මේ ක්‍රියාවලියට සම්බන්ධ එක්කෙනෙකුටවත් ඒකෙ වගවිභාගයක් තිබ්බෙ නෑ.
කොච්චරද කියනවා නම් මල් පවා තමන්ගෙ කතා නොනවත්වා කරගෙන යන්න පුරුදු වෙලයි හිටියේ. විශේෂයෙන්ම කුමාරි එක්ක ගණිත ප්‍රශ්න කතා කරන්න පුරුදු වෙලා හිටපු පෙති බාගෙට පිපෙන නිල් පාට මල් ගහට ඔටුන්න වැටෙන සද්දෙ පවා ඇහුණෙ නෑ.
කුමාරි රාජකීය උයනට එන්නේ බෙහෙත් මත වැඩි වුණ දවසට. පොතේ හැටියට බෙහෙත් නොගෙන හිතුමනාපෙ බෙහෙත් බීපු දවසටයි ඔක්කොම අවුල් වෙන්නේ.
රාජකීය උයන තිබ්බේ මන්නාරම් තුඩුවේ කඳු ගැටයක් උඩ. ඈත ඉඳන් බැලුවම හිතුණේ ලොකු හුළඟක් ආවොත් උයන බිම වැටෙන්නෙ එක තප්පරේට කියලා. ඒ වුණාට ළඟට ගියාම තේරෙනවා එහෙම අවදානමක් නැති බව. රාජකීය උයන මාලිගාවෙන් වෙන් වෙලා තිබුණේ. මේ මුළු උයනෙම මල් පැළ, ගස්, සත්තු, තණකොළ ආදිය කතා කරනවා. ඒ සම්බන්ධයෙන් මහා අද්භූත කතා තිබුණා.
රාජකීය ලේ නැති කිසි කෙනෙකුට මේ උයනට ඇතුළු වෙන්න තහනම්. ඒ නිසාම උයනෙ එක මිනිස් සේවකයෙක්වත් හිටියෙ නෑ. හැම වැඩක්ම කළේ ඌරො, ගෙම්බො, වලස්සු, ජිරාෆ් වගේ කීප දෙනයි. ඒ අයත් දැනගෙන හිටියා මේ රහස සාමාන්‍ය මිනිස්සු අතට යන එකේ බරපතළකම.
ඒත් කුමාරි හිටියෙ ඊට වඩා හාත්පසින්ම වෙනස් අදහසක. ඈට ඕන වුණේ රාජකීය උයන ජනතාවට විවෘත කරන්න. උයනේ කුඩා ළමයි සෙල්ලම් කරනවා බලන්න. පිය රජතුමා මේ කිසි දේකට එකඟ නොවෙන නිසා කුමාරිට බොරු ලෙඩක් ගන්න සිද්ධ වුණා. ඉතිං ඈ මීමැස්මොරේ හැදෙනවා වගේ රඟපාන්න ගත්තා.
හැබැයි කුමාරිට බොරු ලෙඩකට ඇත්තට බෙහෙත් ගන්න සිද්ධ වුණා. කාලයක් තිස්සේ ගත්ත බෙහෙත් නිසා ඇගේ සිහිකල්පනාවේ වෙනසක් වෙලා තිබුණේ. ඈට දවසක් එක දිගට නින්ද යන්න ගත්තේ මේ අතරෙයි. ඒත් බෙහෙත් නොබී උන්නොත් ඈට දවස් ගණන් නින්ද නොයා ඉන්නත් ගත්තා. මේක මහා පටලැවිල්ලක් වගේ පිය රජතුමාට දැනුණේ.
උද්‍යානයේ තිබ්බ ඇපල් ගහේ අවුරුදු ගානකට පස්සේ ඇපල් ගෙඩියක් හැදිලා. කිසි පලුද්දක් නැති රතු පාටින් බබලන ඇපල් ගෙඩිය කන්න හැමෝම කැමැත්තෙන් හිටියේ. ඒත් පිය රජතුමා බයේ උන්නේ.
ජිරාෆ් ජෝඩුව උයන සුද්ද බුද්ද කරන ගමන් ඇපල් ගහ දිහාමයි බලන් හිටියේ.
“ඔයාට ආස නැද්ද ඇපල් ගෙඩිය කන්න?”
සිසිල් හැම වෙලේම එහෙම අහන්නෙ සුදූ කොළ අත්තක් කන්න බෙල්ල නවන වෙලාවට. සුදූ කැමැති නෑ මේ ඇපල් ගෙඩිය කන්න ආසද අහන ප්‍රශ්නෙට. ඒත් සිසිල් හැමදාම ඒක අහනවා. සුදූ මඟාරිනවා. එදා සුදූට හොඳටෝම කේන්ති ගියා. සිසිල් ඇපල් ගෙඩියෙ ප්‍රශ්නෙ අහනවත් එක්කම බෙල්ල හරවලා ඇපල් ගෙඩිය කඩාගෙන එක කටට ගිලලා දැම්මා. සිසිල්ව තණකොළ බිස්සට ඇදගෙන වැටුණේ උයනම කම්පා කරන සද්දෙන්.
කුමාරිගෙ සාපෙ ක්‍රියාත්මක වෙලා කියලා පිය රජතුමාට දැනුණේ හනුවක් පසාරු කරගෙන දිග දතක් එළියට එනවා දැනුණ නිසා.
මන්නාරම් තුඩුවම කම්පා වෙන තරමට රජතුමා කෑගහන්න ගත්තා. රාජකීය වෙදැදුරා තප්පරේට දුවගෙන ආවේ මුර සෙබළුන්ව පෙරළගෙන.
“කුමාරිව මරලා දාපල්ලා!” රජතුමා කෑගහන්න පටන් ගත්තා. මුළු මාලිගාවම ඉඳිකට්ටක් වැටුණත් ඇහෙන තරමට නිශ්ශබ්ද වුණා. ආයෙත් රජතුමා කෑ මොරසන් දෙන්න වුණා. “කුමාරිව මරලා දාපල්ලා!”
රාජකීය වෙදැදුරා රජ්ජුරුවන්ගෙ නාඩි බලන්න හැදුවා. රජා කුපිත වෙලා නහයෙන් පිඹිමින් හිටියේ කුළුහරකෙක් වගේ.
“ඒත් අපි කාටවත් උයනට ඇතුළු වෙන්න බෑනෙ රජතුමනි… කවුද ඇපල් ගෙඩිය කෑවෙ කියලා අපි දන්නෙත් නෑ. ඒත් ඒ කුමාරි නෙවෙයි. ඈ ඒක සැලසුම්සහගතව කරපු දෙයක් නම් අපි ලොකු අමාරුවකයි වැටෙන්නේ.”
රජ්ජුරුවෝ මේ කිසි දේකට ඇහුම්කන් දෙන පාටක් පේන්න තිබුණේ නෑ. “කුමාරිව මරා දාපල්ලා…” කියමින් උමතුවෙන් වගේ මාලිගාවෙ විශාලා සාලාවක දුවමින් හිටියේ.
මේ අතරේ කඳුගැටය උඩ රාජකීය උයනේ ලොකු කලබලයක්. ජිරාෆ් ස්වාමි පුරුෂයා වුණ, සිසිල්, ඇපල් ගහ යට වාඩි වෙලා අඬනවා. සුදූ පේන්න හිටියේ නෑ. ඒත් ගෙඹි යුවළ පොඩි පොකුණ ළඟ කසුකුසුවෙන් යුක්තව ඉන්නවා. වලහෙක් පරණ පත්‍රිකාවක් පෙරළමින් මේ වගේ වෙලාවක කරන්න ඕනා මොනවද කියලා හොයනවා. කුමාරිට හිතවත් ඌරො දෙන්නා කොට්ටම්බා ගහ යට වාඩි වෙලා බෙල්ලෙ බැඳලා තියෙන රෝස රිබන් අඹරමින් ඔහේ ඉන්නවා. කුමාරි පේන්නවත් නැති නිසා මල් වුණත් ලොකු කතා පටන් අරන් තිබ්බෙ නෑ.
සේපාලිකා ගහෙන් බිමට වැටිච්ච මල් තුන හතරක් විතරක් ඕපදූපයක් කියන රහස් ලීලාවෙන් ‘සුදූ’ ඇපල් ගෙඩිය කාපු හැටි රඟදක්වනවා. ඉන්දියන් ඉද්ද පඳුරේ සුදු මල් දෙකක් එකිනෙකා වාද කරගන්නවා. එක්කෙනෙක් කියන්නෙ ‘සුදූ’ ඇපල් ගෙඩිය විකන්නෙ නැතුව ගිල්ලා කියලා. අනිත් එක්කෙනා කියන්නෙ නොදැනුවත්වම කෑල්ලක් හැපුණා, ඊට පස්සෙයි ඇපල් ගෙඩිය ඈට ගිලුණේ කියලා.
හදිස්සියේම මහා සද්දෙන් කුමාරිගේ කුටියේ දොර ඇරුණා. ඈ රෝස පාට දිග ගවුමක් ඇඳන් හිටියේ. අත් වැහෙන්න වෙනදට දාන අත් මේස් අද දාගෙන ඇවිත් තිබුණේ නෑ.
“අත් මේස් දාන්නෙ රෝස කටු ඇනෙන්නෙ නැතුව ඉන්න.” කවුරුත් වැඩිය නොසලකන තණකොළ මලක් කසුකුසුවෙන් කිව්වා.
ඈ කෙළින්ම ගියේ ඇපල් ගහ යටට. ඇපල් ගහ දිහා බලලා ඈ සුසුමක් හෙළුලුවා. ඇපල් ගහ ඉක්මනට ඇගේ අත අල්ලගත්තා.
“අපි ඔබතුමියව ආරක්ෂා කරගන්නම්.”
කුමාරි බය වෙච්ච බවක් පෙන්නුවේ නෑ. ඇපල් ගහට ඕන එකක් කියන්න දෙනවා කියලා හිතලා ඉන්නවා වගේ ඈ හැඟීමක් නැති මුහුණින් එතන ඔහේ හිටගෙන හිටියා. එදා උඩ බලන් කතාවට ඇහුම්කන් දුන්න නිසා ඇගේ ඔටුන්න බිම වැටුණේ නෑ. ඒත් කෝකටත් කියලා ගෙඹි යුවළ ඇපල් ගහ යට නිකං රස්තියාදු වෙවී හිටියා.
අතීත කතාව: ක්‍රි.ව. 473
රජ්ජුරුවො උන්නෙ දූ කුමරියක් උපන්න සතුටෙන්. ඒත් දූ කුමරියගෙ උපන් වෙලාව අනුව නැකත්කරුට කියන්න තිබ්බෙ නරක ආරංචියක්. මධු බඳුනක් තොලගාමින් රාජකීය උයනේ වියනක් යට පනවපු සැප අසුනක රජ්ජුරුවො විරාජමානව උන්නා. නැකත්කරු එක්කන් ආපු රාජ පුරුෂයා ඩිංගිත්තක් එතැනම තාවර වෙද්දි රජ්ජුරුවන්ට යකා නැග්ගා.
රජ්ජුරුවන්ගෙ වම් ඇහැ තමන් පැත්තට හැරෙන බව දැක්ක සැණින් රාජ පුරුෂයා කැන්ගරුවෙක් වගේ ජවාධික පිම්මකින් එතැනින් එහාට ගියා.
“හ්ම්….කියනවා බලන්න!”
රජ්ජුරුවොන්ගෙ ගොරෝසු කටහඬ වියන ඇතුළෙ පහත්ව කැරකුණා. නැකැත්කරු තමන්ගෙ වයස නොතකමින් රජ්ජුරුවො ඉදිරියේ බිම දිගාවුණා. කොඳුඇට පේළියෙන් ‘ටකස්’ සද්දෙකුත් ඇහුණා.
“නැගිටපිය! කියන්න තියෙන දේ කියපිය!”
රජ්ජුරුවෝ පහත් හඬින් ආයෙත් ගිගුරුවා.
“කුමාරිට අපලයි රජතුමනි. මිනිස් ඇස්වලින් හංගලයි හැමදාටම තියන්න වෙන්නෙ. රාජ ලේ ඇති කෙනෙකුට ඇරෙන්න වෙන කිසිම කෙනෙකුට කුමාරිව දකින්න දෙන්න එපා.”
“මිනිස් ඇස්වලින් හංගලා? රාජ ලේ?”
“ඔව් රජතුමනි, වයස විස්ස සම්පූර්ණ වෙනතුරු කිසිම මිනිස් ආශ්‍රයක් නැති තැනක ජීවත් වෙන්න දෙන්න වෙනවා.”
“එහෙම නොකළොත්?”
“මහ විනාසයක් වෙනවා රජතුමනි. මුහුදු හතක් ගොඩ ගලලා, කන්දක ගින්දරෙන් මේ රාජ්‍ය සුන්නදූලි වෙලා යනවා. රජතුමාගෙ මිනිස් බව පවා නැතිවෙලා ආදිකල්පිත සතෙක් බවට පත්වෙන්න ඉඩ තියෙනවා. මේක දූ කුමාරියි-රජතුමායි එකට බැඳුණු මහා සාපයක්.”
රජතුමා සැප පුටුවෙන් ඉද්ද ගැහුවා සේ නැඟිටලා නැකැත්කාරයාගෙ බොටුවෙන් ඇල්ලුවා. කෙසඟ නැකැත්කරු පරඬැලක් වගේ ඉස්සුණා. හුස්ම ගන්න බැරුව අමාරුවෙන් දඟලන්න වුණා. යථා සිහියට ආපු රජ්ජුරුවො නැකැත්කාරයව බිම ඇතෑරියා. බිමට වැටුණු මහලු නැකැත්කරුගේ කොඳුඇටයක් ආයෙ ‘ටකස්’ ගෑවා.
“පලයං යන්න මගේ දෑහට නොපෙනී.”
රජ්ජුරුවො අසල්වැසි හැම රාජ්‍යයකින්ම නැකැත්කරුවො, පේන කියන්නො ගෙන්නුවා. එක කටකින්වත් මීට වෙනස් දෙයක් කියැවුණේ නෑ. රජ්ජුරුවන්ගෙ කෑම රුචිය පවා නැති වුණා. අන්තඃපුරය පැත්ත පළාතෙ නොයා රජ්ජුරුවො උදේ හිටන් රෑ වෙනකන් මධු බොන්න වුණා. කීප දවසකින් රජතුමාට තීරණයක් ගන්නම සිද්ධ වුණා. පුංචි කුමාරිව රහසිගතව රාජකීය උයනට පිටත් කළා. ඈව බලාගන්න මැදි වයසෙ වලහෙකුට භාර දුන්නා.
මේ රහසිගත උයනෙ සත්තු, ගස් ආදිය කතා කරන්න ගත්තෙ රජතුමාට කුඩා කාලෙ පේන කියන්නෙක් කරපු සාපෙකට පස්සෙ. රජතුමා පැටියා කාලෙ සත්තුන්ට හිංසා කරන්න පුරුදු වෙලා උන්නා. දකින ඕනෑම සතෙකුට ගල් කැටයකින් ගහන්න, උන්ව ලුහුබඳිමින් බය කරන්න පටන් අරගෙන පස්සෙන් පසු සත්තුන්ව මරන්න පුරුදු වුණා. මේ අමානුෂික කැත පුරුද්ද නවත්තන්න අමාරු තැනට ආපු නිසා පිය රජතුමා පේන කියන්නෙක් කැඳෙව්වා. අනාගතේදි මහා ව්‍යසනයක් වෙන්න නියමිත බව දැක්ක පේන කියන්නා නිශ්ශබ්දව මේ කුඩා කුමාරයට සාපයක් කළා. මේ උයනෙ සියලුම සත්තුන්ට කතා කිරීමේ බලය දුන්නා. ඉන් පස්සෙ කුමාරයා කරන හැම වැරැද්දක්ම සත්තුන්ගෙ කටින් පිය රජතුමාගෙ කන දක්වා ගමන් කළා. කුමාරයා බයභීත වුණා. හිංසාව ක්‍රමයෙන් නැතිවෙලා ගියා. පේන කියන්නා අතුරුදන් වුණා. ඒත් උයන තාවකාලිකව වහලා දැම්මා. කාටවත් ඇතුළු වෙන්න අවසර නැති වුණා.
කුමාරිව භාර දුන්නෙ මෙන්න මේ රාජකීය උයනෙ ජීවත් වුණ සත්තුන්ටයි. පහුකාලීනව ඒ සත්තු රජතුමා එක්ක යාළු වුණා. හිංසාවෙන් වැළකිලා උන්නට රජතුමාට අනියත බියක් තිබ්බා. ඒ පේන කියන්නා තමන් නොදැන තවත් බලගතු සාපයක් කරලා ඇතියි කියනෙකයි.
පේන කියන්නාගෙ සාපෙ දෙවැනි කොටස උයනෙ පල නොදරපු ඇපල් ගහේ ගෙඩියක් රහසින් කවුරුම හෝ කෑම. රජතුමාව ආදිකල්පිත සතෙක් වෙන්න පටන්ගන්නෙ අන්න එතකොටයි. ඒකත් මේ ජිරාෆ්ගෙ ප්‍රියම්බිකාව සුදූගෙ අතින් නොදැනුම් වත්වම වෙච්ච දෙයක්.
රජතුමා ආයෙත් කෑගහන්න ගත්තෙ හනුවක් පළාගෙන පහළට බහින්න පටන් ගත්ත දතේ වේදනාවත් එක්කමයි.
“කුමාරිව මරපල්ලා. කුමාරිව මරපල්ලා!”
ඒත් රාජකීය උයනේ තමන්ගෙ පාඩුවෙ ජීවත් වුණ කුමාරිව මරන්න කිසිම රාජ පුරුෂයෙක් ඉස්සරහට ගියේ නෑ. මාලිගාවෙ ඇතුළේ බඩුමුට්‍ටු පොළොවෙ ගහමින්, විසාල දොරවල්වල හැපෙමින්, අතට අහුවෙන හැම දෙයකින්ම අහල පහල උන්නු ඈයොන්ට පහර දෙමින් රජ්ජුරුවො කොටියෙක් වගේ ගොරවන්න පටන් ගත්තා. ලේ වැක්කෙරෙන හනුවක් පළාගෙන එළියට පැන්න තියුණු දත දිහා බලන්නත් භයංකාරයි. රජ්ජුරුවන්ගෙ හැඩිදැඩි ශරීරෙ ගැහෙමින් ටිකෙන් ටික විරූපී වුණා. ඒ එක්කම අනිත් හනුවත් පළාගෙන දතක් එළියට එන්න ගත්තා. රජ්ජුරුවොන්ගෙ කටින් එළියට පැන්නෙ මහා පුදුමාකාර රෞද්‍ර විලාපයක්. ඒවා වචන නෙවෙයි කියලා අග බිසවට තේරෙන්න ගත්තම ඈ කොහේදෝ දුවන්න පටන් ගත්තා. ඇඳුම්, ආයිත්තම් පැටලිලා බිම වැටුණත්, නැවත නැවත නැගිටිමින් ඈ දිව්වා. ඈ පස්සෙන් සේවිකාවො දුවන්න වුණා. හිතෛෂීඅවන්ත අතවැසියෝ කීප දෙනෙක්, රාජ සභාවෙ දැනමුත්තො කීප දෙනෙක් සහ රාජකීය වෙදැදුරා මුව අයාගෙන මේ විපර්යාසය දිහා බලන් උන්නා.
රජතුමාගෙ මිනිස් ශරීරෙ දෙකට නැවෙන්න පටන් ගත්තා. අසීමිත වේදනාවකින් ළතෝනි දෙමින් රජතුමා බිම වැටුණා. පොළොවේ දඟලපු මිනිස් ශරීරෙ ඉතාම සුළු මොහොතකින් කොටියෙක් බවට පත් වුණා.
දිග පිම්මකින් රාජ සභාවෙ දැනමුත්තො කීප දෙනා වෙත පැන්න කොටියා උගුරු දණ්ඩම හපා කෑවා. ඊළඟට රාජකීය වෙදැදුරා බිලි වුණා. මහලු බව නිසාම මේ කිසි කෙනෙකුට දුවගන්න තරමෙ ශරීර ශක්තියක් තිබුණෙ නෑ. හයියහත්තිය ඇති අතවැසියෝ මේ වෙනකොට මාලිගාවෙ හතර කොනටම තමන්ගෙ දිවීම පටන් අරගෙනයි තිබ්බේ. පහත් ගෙරවිල්ලක් නඟමින් කොටියා දුවන්න ගත්තේ රාජකීය උයන පැත්තටයි. මරණීය නැග්මක් තිබ්බ උයනෙ ඇතුළුවීමේ දොරටුවට ළඟා වෙන්න කොටියට ඒ තරම් වෙලාවක් ගත වුණේ නෑ. ඒ වෙනකොටත් උයනේ එළියට පේන්න කිසිම කලබලයක් තිබුණේ නෑ. උයන ඉතාම ශාන්තයි.
ඒත් උයන ඇතුළතින් මහා කලබලයක් නැඟගෙන එමින් තිබුණේ. සිසිල්, උයනෙ දොරටුවට උඩින් විශාල මන්දක් අටවලයි තිබ්බේ. ඌරො දෙන්නා කොටියගෙ බඩ පසාරු කරන්න තමන්ගෙ උල් දත් සූදානම් කරගෙන උන්නේ. කුමාරිගෙ ආරක්ෂකයා, වලහාගෙ අතේ විසාල පොරවක්. කොටින්ම ඇපල් ගහ පවා සූදානමින් උන්නේ තමන්ගෙ ගෙඩිවලින් ගහලා කොටියව බිම දාන්න. මේ කිසිවක් ඒ තරමට නොතකපු කුමාරි පොඩි අවානක් අරගෙන තමන්ගෙ කුටියෙන් එළියට ආවා. නිතර ඔළුවෙන් හැලෙන ඔටුන්න වමතින් සකස් කරගත්තා.
උයනෙ දොර කඩාගෙන කොටි හපුවා පැන්නා. උගේ උල් දත් දිගේ තාමත් ලේ බේරෙනවා. සිසිල් අටවලා තිබ්බ මන්ද වැඩ කළේ නෑ. ඌරො දෙන්නා පරඬැල් වගේ දෙපැත්තට විසි වුණා. වලහා තමන්ගෙ ඉස්සරහා කකුල්වලින් හිටගනිමින් කොටියට පොරෝ පාරක් දුන්නා. උරපතේ විශාල කැපුමක් එක්ක කොටියා කුමාරිගෙ බොටුවට පැන්නා.
කුමාරි අවාන වැනුවා මොකක්දෝ අමුතු විදිහකට. ‘සීස්’ ගාමින් ඊතල වැස්සක් අවානෙන් එළියට පැන්නා. කුමාරි සහ කොටියා අතරේ නූලක දුරක් ඉතිරි කරමින් ඊතල කන්දරාවක් ඇනුණ කොටියා බිම වැටුණා. ඊතලවලට කවලා තිබුණ විස නිසා කොටියා සම්පූර්ණයෙන්ම නිල් පාටට හැරුණා. මතක ඇති කාලෙකට නිල්පාට කොටියෙක් මැරුණේ අන්න එදායි.
පස්සෙන් පහු රාජකීය උයන ජනතාවට විවෘත වුණා. කුමාරි තමන්ගෙ ඔටුන්න ගෙඹි යුවළට දීලා, මාලිගාවට ගොඩ වුණා.
පසුව ලියමි:
කුමාරිට එහෙම සාපයක් තිබිලා නෑ. රජතුමා තමයි රටටම බලපාපු සාපෙ. ඒක ඉවර වුණාට පස්සෙ කුමාරිකාව දැහැමින් සෙමෙන් රාජ්‍යය පාලනය කළා. රජතුමාගෙ මරණින් පස්සෙ උයනෙ හිටපු සත්තුන්ට, ගස් කොළංවලට ආයෙ කතා කරන්න බැරි වුණා.
කුමාරිකාව රටවැසියා අමතා: “මේ රටේ සත්තුන්ට නෙවෙයි කතා කරන්න බැරිවෙන්නෝනා, මිනිස්සුන්ට!”
දුම්රිය නැවතුම්පොළේ සිට, ලොකු අම්මලාගේ ගෙදරට වැඩිදුරක් නොමැත. අපි ඒ කෙටි දුර පයින්ම ගමන් කළෙමු. නිෙවසේ දොර ජනෙල් හැර දමා තිබුණද, කිසිවෙක් එහි පෙනෙන්නට නොසිටියහ. නිෙවසට පළමුවෙන්ම ගොඩ වූ මම දෙතුන් වතාවක් දොරට තට්ටු කළෙමි. ලොකු අම්මා අසනීපයෙන්දැ’යි මට එක්වර සිතුණි. තවත් දෙතුන් වතාවක් දොරට තට්ටු කිරීමෙන් පසුව, කුඩා දැරියක් සාලයේ සිට එළියට ආවාය.
“ කෝ…..ලොකු අම්මා නැද්ද ?”
“ලොකු නෝනා හෝටලයට ගියා. මං ගිහින් එන්න කියන්නම්. ඇවිත් වාඩි වෙන්න….”
එසේ කී දැරිය, නැවත සාලය දෙසටම දිව ගියා ය. නිෙවස තුළට නොගොස් ආලින්දයේ තිබූ පුටුවක මම අසේලට හිඳ ගන්නට සැලැස්සුවෙමි. මමද අසල තිබූ පුටුවක වාඩි වූයෙමි. වත්තේ දකුණු පසට වන්නට අලුතින් ඉදිකර තිබූ, නවීන පන්නයට තැනූ දෙමහල් හෝටලය මා සිටින තැනට අපූරුවට පෙනේ. සංචාරක ව්‍යාපාරය නිසා ඉතා ඉක්මනින් දියුණුවට පත් වූ නගරයක මෙවැනි කුඩා හෝටලයකින් වුවද, ඔවුනට විශාල ආදායමක් ලැබෙනු ඇතැයි මට සිතුණි. හෝටලයේ පිටුපස දොරින් මිදුලට බැස ආ ලොකු අම්මා කුඩා දැරියගේ අතින් අල්ලාගෙන අප සිටින තැනට කඩිනමින් ආවාය.
“මේ ළඟ ගෙදරක දරුවෙක්. මගේ තනියට නිතරම දුවගෙන එනවා. මෙච්චර වෙලා බලාගෙන ඉඳලා මම හෝටලය පැත්තට ගියා. යමු ඇතුළට.”
ලොකු අම්මා පොඩි දුවගේ හිස අතගා, ඇය ළංකර ගැනීමට තැත් කළාය. නිතර දැක පුරුදු නැති නිසාදෝ දුව ලැජ්ජාවෙන් මෙන්, ලොකු අම්මාගේ මුහුණ දෙස බලා තව තවත් අසේලට තුරුලු වූවාය. ලොකු අම්මා පසුපසින් අපි නිෙවස තුළට ආවෙමු.
“පුතාලට ඉස්සරහ කාමරය ලෑස්ති කරලා තියෙනවා. මුහුණ කට සෝදගෙන ඇඳුම් මාරු කරගෙන ඉන්න. බඩගිනිත් ඇති නේ….”
සාලය සහ ආලින්දය මෙන් ඒ කාමරයද පාළුවට ගොස් තිබුණි. කාමරය මැදට වන්නට තබා තිබූ ඇඳ හැරෙන්නට එහි වූයේ, පැරණි ටීපෝවකුත්, වැල් කැඩුණු පුටුවකුත් පමණි. මුහුණ කට සෝදා ඇඳුම් මාරු කර ගත් අප තිදෙන, නැවත සාලයට පැමිණෙන විට ලොකු අම්මා හාන්සි පුටුවේ වාඩි වී මොනවාදේ දෙයක් ගැන බර කල්පනාවකින් සිටියාය.
“අපි ආ එක..ලොකු අම්මාට කරදරයක් උනාද දන්නේ නෑ…”
“මොන කරදරයක් ද දරුවෝ… ? ඉඳහිටලවත් ඔය ළමයි මෙහෙම ඇවිල්ලා යන එක කොච්චර සන්තෝසයක් ද මට…?
ලොකු අම්මා පැවසුවේ හද පිරි සෙනෙහසකින් යැයි මට හැඟුණි. වසර හත අටකට පෙර, මේ නිෙවසට මා කීප වතාවක්ම ඇවිත් ගියා මතකය. ඒ මගේ මවුපියන් සමඟය.
“අපට වගේද ලොකු අම්මට ? මොනවයින් අඩුවක් කියලද?
ලොකු අම්මා ගැන කතා කරද්දි ඒ දිනවල අම්මා කිවුවේ එලෙස ය. විවාහවීමට පෙර ඉතා කුඩා ව්‍යාපාරයක් ලොකු තාත්තා සතු විය. එහෙත්, ලොකු අම්මා සමඟ විවාහ වූ පසු ලොකු තාත්තා මහා පොහොසතකු වූ අන්දම තාත්තා දන්නා හඳුනන අයට විස්තර කරන්නේ ඉමහත් සතුටෙනි.
දහවල් කෑම ලොකු අම්මා සූදානම් කර තිබුණේ හෝටලය තුළ වූ විශේෂ කාමරයකය. අතිවිශාල හෝටලයක් නොවුන ද පැමිණෙන ඕනෑම කෙනකුගේ සිත් ඇඳ බැඳ තබා ගන්නා විලසට එය විසිතුරු ලෙස නිම කර තිබුණි. තැනින් තැන තබා තිබූ මල් බඳුන් ද , නවීන පන්නයට සැරසිලිවලින් අලංකාර කරන ලද බිත්ති ද, සතර දෙසින් නිකුත් වී දෙසවනට වැටෙන මියුරු සංගීතය ද පරිසරයට නැවුම් බවක් එක් කර තිබුණි.
වික්‍රමසේකර ව්‍යාපාරවලට අනුබද්ධ වු අලුත් ම අංගය රංජන් අයියාගේ මේ සංචාරක හෝටලය බව, අපි ලොකු අම්මාගෙන් දැන ගතිමු.
“ලොකු පුතා වැඩක් කළොත් අන්තිම ඉහළින් කරන්නේ…..මගේ නම් වැඩි කැමැත්තක් තිබුණේ නෑ මේකට. ඒත්… ඉතින් බලනකොට වරදකුත් නෑ. හිතුවට වඩා ලොකු ආදායමක් දවසකට ලැබෙනවා කියලා පුතා කියන්නේ…..”
සුදු නිල ඇඳුමෙන් සැරසුණ සේවකයෙක්, කෑම බඳුන්වලින් මේසය සැකසුවේය. අප කැටුව ලොකු අම්මා, කෑම මේසය වෙත ගියේ මහත් වු ආඩම්බරයෙනි. මුල් පුටුවේ අසුන්ගත් ලොකු අම්මා ඉතාමත් ළෙන්ගතුකමින් අපට කෑම බෙදන්නට පටන් ගත්තා ය.
“කෝ…ඉස්සර වෙලා මං පොඩි දුවට බෙදන්න. දෙන්න පිඟාන මට….”
ලොකු අම්මා දුවගේ පිඟානට කහ බත් හැඳි දෙක තුනක් බෙදා දී අසේලට ද මට ද බත් බෙදා දුන්නා ය. අනතුරුව ඇගේ පිඟානට කැකුළු හාලේ බත් ස්වල්පයක් බෙදා ගත්තා ය.
“පුතා කෝකියට කියලා ගිහින් තිබුණා හොඳට කෑම ටික හදන්න කියල . ඒත් මාත් ටිකක් ඇවිත් හොයා බැලුවා. මොනව උනත් මගේ හිතට හරි මදි… ගෙදර කෑම ටිකක් දෙන්න ලැබුණ නම් තමයි හොඳ කියලා මට හිතුණා…ඒත් ඉතින්…..”
“මේ ඕනැවටත් වැඩිය හොඳයි ලොකු අම්මේ”
ලොකු අම්මා බෙදා දුන් කෑමවල රස බලන අසේල එක්වරම කීවේ ය.
ආහාර ගෙන අවසන් වූ පසු ලොකු අම්මා ඒ අසලම තිබෙන නිදන කාමරයට අප කැඳවාගෙන ගියා ය.
“දුවලට මහන්සිත් ඇතිනේ….? ඕන නම් ටිකක් මෙහෙන් හාන්සි වෙලා ඉඳලා එන්න. මේ ලොකු පුතාගේ කාමරය…”
සුදු ඇඳ ඇතිරිල්ලකින් සැරසූ සුව පසු ඇඳක්, නවීනතම අල්මාරියක්, කණ්ණාඩි මේසයක්, රූපවාහිනී යන්ත්‍රයක් සහ පරිගණකයක්, වායු සමනය කළ ඒ කාමරය තුළ විය.
“ලස්සනයි නේද අසේල කාමරය….”
මා අසේලගෙන් එසේ ඇසුවේ, ලොකු අම්මා දෙස බලාගෙන ය. එවිට ලොකු අම්මාගේ මුහුණේ ආඩම්බර සිනාරැල්ලක් මතු වී එන අයුරු මම දුටුවෙමි.
“එහෙමනම් පුතාලා ටිකක් වෙලා ඉඳලා එන්න…”
ලොකු අම්මා කීවා ය.
“නැහැ ලොකු අම්මේ ගෙදරම යමු…”
අසේල ද මගේ අදහසට එකඟ විය. ලොකු අම්මා සමඟ අපි නැවත නිෙවසට ආවෙමු.
ස්වල්ප වෙලාවක් අප සමඟ කතා කරමින් සිටි ලොකු අම්මා
“මාත් ටිකක් හාන්සි වෙන්නම් දුවේ…මහන්සි වගේ …..”
කියමින් ඇගේ කාමරයට ගියා ය. අසේල ද නිදා ගැනීමට අවශ්‍ය බව කියමින් දුවත් සමඟ අපට වෙන් කර තිබූ කාමරයට ගියේ ය. එතරම් කෙඩෙත්තු ගතියක් නොවූ නිසා, මම සාලයට වී අලස ලෙස ඒමේ අත ගමන් කළෙමි. මුළු සාලය පුරාම ඇත්තේ හිස් බවකි. ඒ හිස් බවේ ඇරඹුම කොතනකදැ’යි මට සිතා ගත නොහැකිය. සිවිලිමේ තැනින් තැන කළු පුස් මතු වී තිබුණි. ජනෙල් පියන්පත් පිස දැමූ කාලයක් සිතා ගැනීමට නොහැකි ය. සායම පිලිස්සී ඉරී ගිය දොර ජනෙල් රෙදි නිසා මුළු නිෙවසම තව තවත් අඳුරු පැහැයක් ගෙන ඇතැයි මට සිතුණි. රවුම් ටීපෝව මත පැරණි ඡායාරූපයක් විය. එහි ලොකු තාත්තාත්, ලොකු අම්මාත්, අයියලා දෙදෙනාත්, අක්කාත් වූහ. එය අයියලාගෙත්, අක්කාගේත් ළමා කාලයේ ගත් ඡායාරූපයකි. ලොකු අම්මා එහි කට පුරා සිනාසෙමින් සිටින්නීය. මල් වැටුණ සාරියක්ද, සුදු ලේස් දිග හැට්ටයක් ද හැඳගෙන සිටින ඇගේ එක් අතක වළලු රැසකි. ගෙලෙහි මුතු මාලයකි. ලොකු අම්මා අද ඇඳ සිටියේ මඳක් දුඹුරු පැහැ ගැන් වී තිබුණ සාරියකි. සාරියට නොගැළපෙන පාටකින් මසා තිබූ හැට්ටයේ තැනින් තැන නූල් ගැල වී තිබුණි.
එක් විටම ලොකු අම්මාගේ කාමරයෙන් සිහින් කෙඳිරිලි හඬක් මතු විය. මම ඇගේ කාමරයේ දොර ළඟ ට ගොස්, දොර රෙද්ද මෑත් කළෙමි. ලොකු අම්මා තද නින්දේ පසු වුවා ය. යළිත් සිහින් කෙඳිරිලි හඬක් නැංවූ ලොකු අම්මා අනික් ඇලයට හැරුණා ය. ඇඳ ක්‍රීස් හඬක් නංවමින්, ඒ අතට මේ අතට පැද්දුණි. ඇඳට දමා තිබූ ඇඳ ඇතිරිල්ල මාස ගණනකින් නොසෝදා ඇති සේය. දෙකකුල්වලට අසු වී, ඇඳ ඇතිරිල්ලේ එක් කොනක් ගුළි වී ගොස් තිබුණි. පැරණි මෙට්ටයේ කවරය දෙතුන් පළකින් ඉරී ගොස් ය.
මම නැවත සාලය දෙසට හැරුණෙමි. රංජන් අයියාගේ සංචාරක හෝටලය මහ ගෙදර ජනෙල් කූරු අතරින් මගේ නෙතට හසු විය.
“හාන්සි උන ගමන් දන්නෙ ම නැතුව නින්ද ගියානේ දුවේ…. ”
ලොකු අම්මා මා පිටුපසින් සිටගෙන සිටියාය.
“කොච්චර කාලයකට පස්සෙ ද ආවේ….? ඉස්කෝල නිවාඩු නිසා දවසක් දෙකක් ඉඳලා යන්න දුවේ…”
බැගෑපත් ලෙස එසේ පැවසූ ලොකු අම්මා පුටු ඇන්දට බර දී හෙමිහිට හිඳ ගත්තාය. හෙටම යාමට අවශ්‍ය වුව ද ලොකු අම්මාගේ හිත රිදෙන අයුරින් කිසිවක් කීමට මට නොසිතුණි. අසේල පොඩි දුවත් සමඟ පැමිණ අප සිටින තැනම හිඳ ගත්තේය.
“ ලොකු තාත්තා නැති පාඩුව විඳගන්න බෑ දුවේ…”
ලොකු අම්මා යළිත් නිහඬ බව බින්දා ය.
“අපි හිතුවා රංජන්ලා අද ගෙදර ඉඳීවි කියලා”
අසේල එක්වර කීවේය.
“බිස්නස් වැඩවලට ගියාම වෙලාවක් අවේලාවක් නෑ නේ ළමයෝ…..අදත් ඇරෙන්න බැරි වැඩක් නිසා ඉන්න බැරි වුණේ ”
ලොකු අම්මා පැවසුවා ය. ලොකු තාත්තගේ රෙදිපිළි ව්‍යාපාරය නවීනතම නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරයක් ලෙස ගොඩනංවාගෙන එහි හිමිකරු බවට පත්ව සිටින්නේ කමල් අයියා ය. ඔහු පවුලේ දෙවැනියාය. රංජන් අයියත්, කමල් අයියත් ඔවුන්ගේ බිරින්දෑවරුන් සහ දූ දරුවන් සමඟ පදිංචිව සිටින්නේ ගාලු නගරයේය. ලොකු තාත්තගෙන් ලැබුණ දේපළ සමඟ පුංචි අක්කා සුසන්ත අයියා සමඟ’ විවාහ වී ලන්ඩන් නගරයේ සුඛෝපබෝගි ජීවිතයක් ගත කරන්නීය.
“දරුවන්ගේ ඉස්කෝල ගමන නිසා ඒගොල්ලෝ ගාල්ලෙ නැවතුණේ දුවේ. ඒත් ඉතින් හැමදාම උදේ හත වෙනකොට මෙහාට එනවා. ගාල්ල, අම්බලන්ගොඩ ඒ හැටි දුරක් නෙවෙයිනේ. ඒ ආවමත් මං ගැනමයි වැඩිපුර හොයන්නේ. මල්ලිකා දුව ඇවිත් ගේ දොර අතුගාල දීලා යනවා හැමදාම”
ලොකු අම්මා මල්ලිකා දූ යයි කිවුවේ කමල් අයියාගේ බිරියටය. දිනපතා ගේ දොර අතුගාන බවට සලකුණක්වත් නිෙවස තුළ දැකිය නොහැකි තරම්ය. මුළු නිෙවසටම දැන් ඇත්තේ පුටු පහ හයක් පමණි. ඒ පුටු කිහිපයේ ද පෙර තිබූ ඔපවත් බව නොමැත. ඒවායේ සෑම තැනක්ම දූවිල්ලෙන් වැසී ඇත.
“මම ගෙදර වැඩක් පලක් කරනවට පුතාලා කැමැති නැහැ දුවේ. මටත් එක්ක පොඩි පුතා කෑම ටික ගේනවා.”
ලොකු අම්මා යළිත් කතා කළාය. සෑහෙන කාලයකට පසුව හමු වූ බැවින් ජීවිතයේ එදිනෙදා තොරතුරු සියල්ල අප සමඟ බෙදා ගැනීමට ඇයට අවශ්‍ය වී ඇතැයි මට සිතුණි.
“තේ ටිකක් බොමු නේද දුවේ”
ලොකු අම්මා එසේ කියා පුටුවෙන් නැඟිට්ටා ය. මම ද පුරුද්දට මෙන් ඇය පසුපසින් කුස්සියට ගියෙමි.
“ගිය සතියේ කමල් පුතා මාව ඩොක්ටර් සේනබන්දු ළඟට එක්ක ගෙන ගියා. මට ඇති අමාරුවක් නැහැ ළමයෝ. ඒත් මේ ළමයි පොඩ්ඩක් කෙඳිරි ගානවා ඇහුණොත් ඩොක්ටර් ළඟට එක්කන් යනවා”
ලොකු අම්මා එක දිගටම කතා කළාය. මම ඇයව ළිප ළඟින් පසෙකට කර ළිප ගිනි අවුලවන්නට වීමි. දර කැබලි කිහිපය ඇවිළෙන්නට පටන් ගත්තේය. ලොකු අම්මා ඇවිළෙන ගින්දර දෙස ඇසි පිය නොහෙළා බලා සිටියාය. මම කුස්සිය දොරෙන් මිදුලට බැස්සෙමි. වත්තේ කොස්ගස්වල ගෙඩි එක දෙක බිම වැටී ඇත. කොස් කොළ මිදුල පුරාම දැකිය හැකි විය. දර මඩුව අසල තරුණියක් පොල් ගෙඩියක් ලෙලි ගසමින් සිටියාය. මම ඈ වෙතට ගියෙමි. පොල් ගෙඩිය ලෙලි ගැසීම නවතා ඈ හිස ඔසවා මා දෙස බැලුවා ය.
“වත්තත් පාළුවට ගිහින් ”
මට කියැවුණි.
“මේවා හැම දෙයක්ම හොයා බලන්න ලොකු නෝනට සනීපයක් නෑ නේ…මාත් මේ ඉඩ තියෙන වෙලාවට ඇවිත් උදවු කරලා යනවා. තනියම උයා පිහා ගන්නත් අමාරුයි නේ…”
ඕ පැවසුවාය. හදිසියේම වත්තට ඇතුළු වූ දැවැන්ත මෝටර් රථයක් අප සිටින තැන පසු කර මඳක් ඈතට ගොස් නැවතුණේය. ඒ රංජන් අයියා ය. මෝටර් රථයෙන් බැස මා සිටින තැනට ආ රංජන් අයියා
“මේ ගොල්ලන්ටත් අපිව මතක් වෙලා තියෙන්නේ…. ” යැයි නෝක්කඩුවට මෙන් පැවසී ය. මම කිසිවක් නොපවසා මුව පුරා සිනාසුණෙමි.
“අද නම් අම්මගේ කෙඳිරිය හොඳ වෙලා ඇති. උදේ ඉඳලා දුම් දාගෙන දවල් කෑම උයන්න ඇති නෑදැයින්ට. තිබුණ ද ජනප්‍රිය පොළොස් මාළුව එහෙම ? ”
රංජන් අයියාගේ ඒ වචන කිහිපය සමඟ ලොකු අම්මා දහවල් කෑම බෙදන අතරේ පැවසු වචන මා හට සිහිපත් විය.
“දූලා එන ආරංචිය කිවු ගමන් ලොකු පුතා කිවුවේ “ මං නැතුවට කමක් නෑ, මගේ ගණනේ දවල් කෑම හෝටලයේ ලෑස්ති කරන්න” කියලා….”
ලොකු අම්මා එවැනි බොරුවක් කිවුවේ තම දරුවනුත්, අපත් අතර දුරස් වෙමින් පවතින සුහදතාව, යළිත් දැඩි කරන්නට විය යුතු ය. ලොකු අම්මා කොතරම් වසන් කිරීමට තැත් කළ ද නිෙවසත්, අවට වටපිටාවත් සත්‍යය කුමක්දැයි කියා පාන්නා සේ විය. හිස් වූ මහගෙදරත්, පාළුවට ගිය ගෙවත්තත් මගේ සිත සිතුවිලි රාශියක් මැද අතරමං කළේය.
ඒ වියළි බොරලු පාර දිගේ සුළඟ කපාගෙන වේගයෙන් ඇදී ආ ට්‍රක් රථය ඉද්ද ගැසුවාක් සේ නැවතුණේ ඇතුළේ සිටියවුන් සියල්ලන්ගේම මුවගට අමු තිත්ත කුණුහරුපයක් නංවමිනි. ඒ ආ වේගයෙන්ම පසුපසට පැදවුණු රථය කුඩා ගෙපැලක් ඉදිරියේ ගල් ගැසිණි.
සැම අතින්ම සිදුරු වූ සිලි උරයකට ජලය පිරවූවාක් සේ රථයේ සෑම පැත්තකින්ම හමුදා භටයන් පිටතට පැනගත්තේ අසුරු සැණෙකිනි. ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින්ම පිටතට පිනූ යුද භටයන් ඒ කුඩා නිවෙස වට කළේ දණගසාගෙන සිය ස්වයංක්‍රීය ගිනිඅවිය නිවෙස දෙසට එල්ල කරගත් ඉරියවුවෙනි. දැන් ඒ පැල්පත සම්පූර්ණයෙන්ම දණගසාගෙන ස්වයංක්‍රීය ගිනිඅවි මානාගත් සොල්දාදුවන්ගෙන් වට වී තිබේ. කිසිවකුටත් පැන යා නොහැකිය. පිටත සිට බලන්නකුට මුළු සතුරු බළ ඇණියම මේ නිවෙසේ සැඟවී සිටිතැයි සිතෙන්නට හොඳටම ඉඩ තිබිණි.
“ඇරපියව් දොර!” එවර විධානයකි. දොර විවර වී මහලු කාන්තාවක පිටතට පැමිණීමට විධානය තෙවරක්ම දීමට හමුදා සාජන්ට්වරයාට සිදු විය.
ඊළඟ මොහොත ආශ්චර්යයකි. පිටතට පැමිණි ගැහැනිය ද පෙරළාගෙන භටයෝ එනිවෙස ආක්‍රමණය කළෝය. ඉන් පසු හමා ආයේ දැඩි කුණාටුවකි.
කුඩා කුරුබිලියක් වන් අඳුරු ගෙපැල එහෙම පිටින්ම කණපිට හැරවීමේ මෙහෙයුම ඇරඹිණි. සියලු ලොකු කුඩා භාණ්ඩ සිටි තැන වෙනස් කොට උඩු යටිකුරු කෙරිණි.
ගෙහිමියා නිවෙසේ නොසිටින රාත්‍රී කාලවල ස්වාමිදුවගේ තනි නොතනියට නිදාගැනීමට එන අසල්වැසි තරුණ දියණිය බැරි වීමකින් දමා ගිය ගවුම දුටු එක් භටයකුගේ මුහුණට වචනයෙන් විස්තර කළ නොහැකි මන්දස්මිතියක් ගලා එමින් තිබිණි. ඔහුගේ මුහුණ බලාපොරොත්තුවෙන් උතුරා යනු ඒ අඳුරේ වුව දැකගත හැකි විය. ඔහු නිමක් නැති සිහින සාගරයක ගිලෙමින් එකල මෙකල වෙද්දී සහෝදර භටයෝ නිවෙස එකම අවුල් ජාලයක් බවට පත් කිරීමේ මහා මෙහෙයුම ක්‍රියාත්මක කරමින් සිටියෝය. තවත් අපූරු විනාඩි කිහිපයක් අවසන් වන විට මෙහෙයුම සිය අවසන් අදියරට එළඹෙමින් තිබිණි.
සොයාගත් කිසිවක් නොවූ මෙහෙයුම සියල්ලන්ම අතිශය අප්‍රසන්න තැනකට තල්ලු කොට තිබිණි. දැන් එකිනෙකා නිවෙසින් එළියට පැමිණෙමින් සිටිති. සියලු දෙනාගේ මුහුණුවල බරපතළ බලාපොරොත්තු කඩවීමක ඛේදනීය රූ සටහන් ඇඳී දිලිසෙමින් තිබිණි. තරුණියගේ අත්හැර දමා ගිය ගවුම විසින් සිහින සාගරයක ගිල්වන ලද භටයාගේ මුහුණ සියල්ලන්ටම වඩා එල්ලා වැටෙමින් තිබිණි. පෝලිමේ කෙළවරින්ම පිටතට පැමිණෙමින් සිටි අණ දෙන්නාට හදිසියේම ගෙතුළ අඩ අඳුරේ ඇඳි පුටුවක වාඩි වී සිටි මහලු මිනිසා දකින්නට ලැබිණි.
“නැගපං ට්‍රක් එකට!”
වම් අත වම් කන වටා බොකුටු කොට නිලධාරියා වෙත නැවුණු මහල්ලා තමාට ඒ වදන් නොවැටහුණුබව පෙන්වූයේ “ඈ?” යනුවෙන් මහහඬින් හඬ තළමිනි.
“ආ… උඹට ඇහෙන්නෙ නෑ නේද? යමන්කො කෑම්ප් එකට. අද මම උඹේ ඔය බීරිය සනීප කරල දෙන්නං තත්පර දෙකෙන්. බෝල්පොයින්ට් පෑන් දෙකක් විතරයි මට ඕනි ඒකට.”
“දැන් ඉතිං උඹේ කෙළි අහවරයි පුතෝ. රෑට රෑට කොල්ලො ගෙන්නගෙන පන්ති තියන එකත් ඉවරයි. රතුපාට පෝස්ටර් ඉණේ ගහගෙන කොළපාට පෝස්ටර් අත් දෙකේ තියාගෙන මහ දවල් එහා මෙහා ගිහිල්ලත් ඉවරයි. උඹලගෙ මහ එකත් ඉවරයි. උඹලගෙ විප්ලවෙත් ඉවරයි. අද රෑට උඹත් ඉවරයි.”
“නැගපිය දැන් ඉතිං ට්‍රක් එකට!”
නිහඬව ගෙවුණු තත්පර කිහිපය අවසන තට්ටම මත වේගයෙන් පතිත වූ ප්‍රධානියාගේ දෙපා විසින් ඉහළට ඔසවන ලද මහල්ලා ගුවනේ පා වී පැමිණ මිදුල මැද පතබෑවුණේ පෙරේතයකු පොළොවේ ගැසූ අන්දම සිහිපත් කරවමිනි. මිදුලේ සිටි භටයෝ සැණින් ක්‍රියාත්මක වූ අතර, මහල්ලා ඔසොවා ට්‍රක් රථය තුළට වීසි කිරීමට ගත වූයේ තත්පරයෙනුත් කොටසකි.
නිවෙසින් පිටතට බට ප්‍රධානියාගේ ඇස ගැටුණේ දොර ඇරගෙන පිටතට පැමිණි මහලු කතයි.
“ආ… උඹ පට්ට … පුළුවන් නං ආයෙත් වරෙන් තව බොරුවක් ගොතාගෙන කෑම්ප් එකට. මම උඹවත් අරූ යවන තැනටම යවනව උඹලගෙ මහ ලොකු ලොක්ක ළඟටම. පට්ට බැල්ලි! තෝ හිතන්න ඇති අපිව රැවැට්ටුව කියල. දැං දැනගනිං අපේ හැටි. අපි උඹල දිහෑ ඇහැ ගහගෙනමයි හිටියෙ. එදා ඉඳලම.”
ගැහැනිය නිහඬව කල්පනා කරමින් සිටියාය. මේ පැමිණ සිටින්නේ එදා තමන්ට උදේ කෑමත් දී වාහනයේම ගෙදරට ඇරලූ හමුදා භටයෝ නොවෙති. ඔවුන්ගේ හැඩරුව ඇයගේ මතකයේ සදා තැන්පත්ව තිබේ. ‘එතකොට මේ කට්ටිය? කොහොමද මේ ගොල්ල අප ගැන මෙච්චර හොඳට දන්නෙ…’ ඇයගේ සිතේ වද දෙන ප්‍රශ්න වැළකි.
ඊළඟ තත්පරයේ ඇසුණේ රථය පැමිණි වේගයෙන්ම ආපසු ඇදී යන ආකාරයයි. දූලි නංවාගෙන ට්‍රක් රථය නොපෙනී යනවාත් සමඟම තැන තැන දොර රෙදි අතර ජනෙල් රෙදි අතර සැඟවී තිබූ මුහුණු හිරු එළියට නිරාවරණය සඳහා සංඥාව ලැබිණි. දැන් ඇරඹෙන්නේ පශ්චාත් පැහැරගැනීමේ පරීක්ෂණයයි. එහෙත් මේ කතාවේ ආරම්භය නොවේ; අවසානයයි. මක් නිසාද යත්: ඒ ට්‍රක් රථයේ ගිය කිසිවකුත් මේ දැන් රැස් වූ සභාවේ කිසිවකුට ඉන් පසු දක්නට නොලැබුණු බැවිනි. ඔව්. ඒ කතාවේ අවසානයයි.
සෙමෙන් සෙමෙන් කන්ද නැඟගෙන ආ මහලු මිනිසා අත කවරයක දැමූ හිස් බෝතලයක් විය. එක පෙළට තනා තිබූ නිල නිවෙස් පේළියේ පළමුවැන්නට ඔහු නිදහසේ ඇතුළු වන්නට තැත් කළේය. ඒත් ඊට බාධා පැමිණිණ.
“ඒයි ලොක්කා! උඹ කොහේ යනව කියලද හිතාගෙන ඉන්නේ?”
මහල්ලාට ගොත ගැසිණි. ඒ නිල ඇඳුම දුටු තත්පරයේය. සැඟවී සිටි මුර භටයා එතැන සිටිනු මහල්ලා දැක තිබුණේ නැත.
“හාන්දුන්නෙ. මම මේ බේත් ඩිංගක් ගන්න කියල දොස්තර හාමුදුරුවො හම්බ වෙන්න.” මහල්ලා කීවේ අත තිබූ හිස් බෝතලය ද දිගු කර පෙන්වමිනි.
මහල්ලා යන්නට සිතාගෙන පැමිණි නිවෙස ඇතුළින් මහ හඬින් සිනා ඇවිළී ආවේ එසැණිනි. විහිළුවට කැමැති සාජන්ට්වරයා ඉදිරියට ආවේ අපූරු සිනාවකින් මුව සරසාගෙනමය.
“මේ ලොක්කා, මෙහෙන් බේත් ගත්තොත් තමුන්ට වෙන්නෙ මාර වැඩක්: මුත්‍රා කරන්න බැරි වෙයි; වැසිකිළි යන්ට බැරි වෙයි; අතපය කොර වෙයි; කන් ඇහෙන්නෙ නැතුව යයි; තොල-කට පුපුරයි; අඩුගානෙ පුටුවක වාඩි වෙන්නවත් බැරි වෙයි. මෙහෙන් බේත් ගන්න හුඟක් අය දැං ගිහිං තියෙන්නෙ යන්න ඕන හැම ගමනක්ම. ඒ විතරක් නෙවෙයි, උන්ට වෙන්න ඕන හැමදේමත් වෙලා තියෙන්නෙ. කොහොමත් අපි ඔය වයසෙ අයට බේත් දෙන්න කැමතිම නෑ. ඒක හින්ද අන්න අර පේන ගෙදර ඉන්න දොස්තර මහත්තයව හම්බ වෙලා බේත් ටිකක් ඉල්ලගෙන යන එකයි දෙයියනේ කියල.”
මහල්ලා සාජන්ට්වරයා කී දෙසට හැරුණා නොව විසි වී ගියේය.
“මේක හරියන්නෙ නෑ බං. අපි මෙතන ගහමු බෝඩ් එකක්.”
“මොකක් කියලද?”
“මොකක් කියලද කියන්නෙ. බේත් ගන්න එන උන් අර පැත්තටයි. කෑම්ප් එකට එන උන් මේ පැත්තටයි හැරවෙන බෝඩ් එකක්. ගෙනෙං කාඩ්බෝඩ් කෑල්ලකුයි මාකර් පෙන් එකකුයි. කාඩ්බෝඩ් එකේ එක පැත්තක ‘බේත්’ කියල ඊතලයක් ගහපං. අනෙක් පැත්තෙ ‘කේස්’ කියල ඊතලයක් ගහපං. ‘කේස්’ ඊතලේ අපේ පැත්තට හැරෙන්න කාඩ්බෝඩ් කෑල්ල ලීයක ගහපං.”
පසු දිනෙක හිමිදිරි පාන්දර වළ පයයි ගොඩ පයයි අතරේ සිටි මහල්ලකු අතින් අල්ලාගත් ගැහැනියක හමුදා කඳවුරට ඇතුළු වන්නට උත්සාහ කරනු සාජන්ට්වරයා අහම්බෙන් මෙන් දුටුවේය.
ඔවුහු දොරටුවේ සිටි මුරභටයා සමඟ වාදයක පැටලී සිටියහ.
“අන්න අරෙහට යනවා. දොස්තර මහත්තය ඉන්නෙ එතන!” මුරභටයා කෑගසයි. “අපිට ඕන හමුදාවෙ ලොකු මහත්තය මුණගැහෙන්න.” ගැහැනිය ඊටත් වඩා සැරින් කෑගසයි. මේ සියලු තර්ක මැද මහල්ලා කිසිවක් නෑසෙන සවනින් මාරුවෙන් මාරුවට එකිනෙකාගේ මුහුණු බලමින් කල්පනා කරන බවක් පෙන්වා සිටියේය. සාජන්ට්වරයා සිද්ධියට එකතු වූයේ තවත් හාස්‍යජනක තත්පරයක් ගෙවීමේ ආශාව සිතෙහි නංවාගෙනමය.
“මොකද? මුන්ටත් අපේ බේත් ඕන වෙලාද බං?” සාජන්ට්වරයා මුරභටයා දෙස බැලුවේ ඇසක්ද ඉඟි කරමිනි.
“අනේ බුදු මහත්තයෝ. මට මේ මනුස්සයව අරන් ඇවිත් ලොකු මහත්තය හම්බ වෙන්න කියල පණිවිඩයක් එවල තිබුණා.”
“කෙළිය! ආයෙමත් ආධාර පත්තරයක්. අපේ ලොක්කටත් පිස්සු. ගමේම ඉන්න අබ්බගාතයො ටික පෝලිමට ගෙනැල්ල ආධාර දෙන්න. ඒකෙනුත් කෙළවෙන්නෙ අපේ පඩි පැකට් එකටමනෙ බං.” සාජන්ට්වරයා කල්පනා කළේ මේ මිනිහාට ආධාරයක් කළ හැකි ආකාරය පිළිබඳවය.
“සල්ලි ඕන වෙන්නෙ බේත් ගන්නද? කන්න බොන්න වියදමටද?”
“අනේ නෑ හාමුදුරුවනේ. මෙන්න මේ පෙත්සමක්ද මොකක්ද ඇවිල්ල තියෙනවලු මුන්දැට විරුද්ධව.”
සාජන්ට්වරයාගේ නළල රැළි ගැසුණේ තත්පරයෙනි.
“අනේ හාමුදුරුවනේ, ගමේ උන් තරහට කරන වැඩ. මේ නාකි මනුස්සයට මොන ත්‍රස්තවාදී වැඩද මහත්තයෝ…”
“හරි හරි. පොඩ්ඩක් ඔන්න ඔතන වාඩි වෙලා හිටපල්ලකො. ලොකු මහත්තය එනකං.”
නිවෙසට ඇතුළු වූ සාජන්ට්වරයා ආපසු ආවේ ප්‍රධානියාද සමඟිනි. කතන්දරය ඇසූ ඔහුටද සිනාව නතර කරගත නොහැකි විය.
හැරමිටියෙන් යන, දෑස් නොපෙනෙන, කන් නෑසෙන මේ මහල්ලා කරන ත්‍රස්තවාදී ක්‍රියාව කුමක්දැයි ඔහුද සිතන්න ඇත. ටික වේලාවක් මහලු යුවළ දෙස බලා සිටි අණ දෙන නිලධාරියා ඇසුවේ “උදේට කෑවද?” යන්නයි. උදෑසන ආහාරය ද දී නිවෙසටම ඇරලීම ලොක්කාගේ විධානය විය. ඔවුන් පිටව ගිය පසු ප්‍රධානියා තමන්ට හිතවත් ඔත්තුකරුවන් දෙදෙනකු කැඳවූ බවත්, යමක් පැවරූ බවත් මුරභටයා විසින් සාජන්ට්වරයාට දැනුම් දුන්නද එහි කිසිම වැදගත්කමක් නොදැනුණු සාජන්ට්වරයා එතනදීද අර හාස්‍යය සහිත සිනාවම මවාගෙන ඉවතට ගියේය.
ඇත්තෙන්ම හමුදා ප්‍රධානියාගේ මොළයට වැටහුණු දේ සාජන්ට්වරයාට දැනී තිබුණේම නැත.
වෙලාව දැන් හතත් පහු වෙලා මයෙ හිතේ. ඒත් තාම අව්ව වැටෙන පාටක් නෑ. බෝලගල කන්ද පැත්ත කළු කරල. අද නම් උදේ පටන් වහී වගේ…’
විමලා මැණිකේ කන්ද හෙමින් පල්ලම් බැස්සේ එහෙම හිතන ගමන්. තමන් සන්තකයේ තිබ්බ ඇඳුම්කැඩුම් දෙක තුනයි, අම්මාගෙන් ලැබුණ රිදී කරාබු දෙකයි දාගත්ත රෙදිමල්ල හෙමින් කරේ දාගත්තෙ ඒක අතේ අරන් බහින්න අමාරු නිසා.
ඊයෙ රෑ වැටුණ පොදවැස්සට පඩිපෙළ මඩ වෙලා. අඩිය තියද්දි තෙත පොළොවෙ සීතල හිල් හැදිච්ච රබර් සෙරෙප්පු දෙක අතරින් විමලා මැණිකෙට දැනුණා. ‘පාට හේදිලා ගියපු වීවින් සාරියට මොන හැඩ සෙරෙප්පුද!’ කියල හිතපු විමලා මැණිකෙ සාදික්කා ගහක් අල්ලන් හෙමින් අඩිය තිබ්බා.
වත්තෙ පහළට වෙන්න වෙල අයිනෙ ගිය සතියෙ හදපු සාදික්කා පැළයි, කෙසෙල් පැළයි දැකපු විමලා මැණිකෙගෙ පපුව හෝස් ගාල ගියා.
‘දෙයියනේ… අදින් පස්සෙ කවුරු මේව බලන්ට කියලද? කොළඹ ඇත්තොන්ට තේරෙනවද ගහක කොළයක දෙයක් බලාගන්ට.’
එහෙම හිතපු විමලා මැණිකේ පල්ලම බැහැල ආයෙ කන්ද මුදුනෙ තියෙන මහ ගේ දිහා බැලුව. තමන් රෙදි වියන ඉස්කෝලෙ ගිහින් හම්බ කරගත් සල්ලිවලින් හදාගත්ත ගේ කෑල්ල. යන්න හිත නැති වුණත් මේක යන්න වෙන ගමනක් නේද කියල ඇයට හිතුණා. නියරට අඩිය තිබ්බ විමලා මැණිකෙ සාරි පොට අතට ගත්තෙ පින්න වැදුණ ගොයමෙ ගෑවිලා සාරි පොට තෙමෙයි කියල බයට.
‘මං වාත අමාරු තියන් වැඩ කොරපු කුඹුර. අනේ දෙයියනේ… මේ ටික පැහෙනකං මට ගෙදර වසන්න බැරි වුණා නෙ…. උඩ ලියද්දෙ වතුර නැද්ද මන්දා. සාරිය ඇඳන් වතුර හරවන්ට පුළුවනෑ. මඟදි ගුණවතීලෑ දිහාට ගිහින් පියසිරිට කියන්ටෝනැ වක්කඩේ කඩන්ට කියල.’
එහෙම හිතන ගමන් විමලා මැණිකේ පය ඉක්මන් කළා. ඒත් සැරින් සැරේට එන කකුලෙ අමාරුව නිසා අඩිය තියවුණේ හෙමිහිට. විඩින් විඩේට එන සීතල හුළං කිවුවෙම තව ටිකකින් වැස්සක් වැටෙන්න පුළුවන් කියල.
“ගුණවතී…” විමලා මැණිකේ කුස්සිය පැත්තෙන් ගිහින් ගුණවතීට කතා කළා. කුස්සියෙ සද්දයක් බද්දයක් නෑ.
“ලොකු මැණිකේ…” එහා පැත්තෙන් මතු වුණේ ගුණවතී. ඉදලත් අතේ තියන් පුදුමෙන් බලන් ඉන්නවා.
“පියසිරි ඉන්නවද?”
“අනේ මැණිකෙ, ලොකු දුව එක්ක පාන්දරම නුවර ගියා ඔන්න. ඒකිගෙ කැම්පස් එකේ වැඩ වගයකට. මැණිකෙ කොහෙ යන ගමන්ද මේ උදේම?”
“මං මේ ආයෙ එන්න යන ගමනක් නෙවේ ගුණවතියො මේ…”
“අනේ… හත් දෙයියනේ! මොකක්ද ලොකු මැණිකෙ ඒ කතාව?” ගුණවතීගෙ ඇස්වල තිබ්බෙ පුදුමය මුසු වුණ වේදනාවක්.
“ගුණවතීට ආරංචි ඇතිනෙ ගිය දොහක පොඩ්ඩි ගෙදර ආව කියල?”
“ඔව් මැණිකෙ. පියසිරි කිවුව පොඩි මැණිකෙ මුණිච්චි වුණා කියල. ඔක්කොටම කලින් ලොකු මැණිකෙ ගෙට ගොඩ වෙලා හිටිය නං හොඳයි නේද…”
ගුණවතීගෙ කීම අහක දාන්න විමලා මැණිකෙට හිතුණෙ නෑ. මැණිකෙ ගෙට ගොඩ වෙලා දොර ළඟම තිබුණ ඇඳි පුටුවෙන් වාඩි වුණා.
“මට තවත් ඒ ගෙදර වසන්ට බෑ ගුණවතියො…” විමලා මැණිකෙට ඇඬුම් එනව. ඇය ඔසරි පොටින් මූණ වහගත්තෙ වාවගන්න බැරි තැන.
“මොකක්ද මැණිකෙ සිද්ධ වුණේ?” ගුණවතී පිලෙන් වාඩි වෙලා මැණිකෙ දිහාට හැරිල ඇහුව.
“පොඩ්ඩි ගෙට ගොඩ වෙච්ච වෙලේ ඉඳන් ඇනුම්පද කිවුව ගුණවතී. ඒත් ඉතින් මගෙ නංගිනෙ කියල හිත හදන් මාත් අහන් හිටිය. ඔක්කොටම හපන් ඒකිගෙ නැන්දම්මා. දීගතල ගිය නැති එකියක් ගෙට මූසලයි කියල නිතරෝම කියනව. මට ඉවසන්ට බෑ ගුණවතියො.”
ඇඬුම් අතරින් විමලා මැණිකෙ එහෙම කියද්දි ගුණවතීගෙ හදවතට අනුකම්පාව මෝදු වෙන්න ගත්ත.
“අනේ මැණිකෙ, ඉතින් ඕකටද මේ ගෙදරින් යන්ට හදන්නෙ?”
“නෑ ගුණවතී. ඊයෙ හවස කිවුව එයාගෙ කොළඹ යාළුවො කට්ටියක් එනවලු හෙට. එතකොට මට සාලෙට නෑවිත් ඉන්ටලු. අක්ක කියල කියන්ට ලැජ්ජයිලු. හිසකෙස් පැහිච්ච, හම රැලි වැටිච්ච අක්කෙක් එයාට ඉන්නව කියල යාළුවො දන්නෙ නෑ කිවුවෙ…”
එතෙන්දි නම් විමලා මැණිකෙට හයියෙන් ඇඬුණා. ගුණවතී හෙමින් සැරේ කුස්සිය පැත්තට ගියේ මැණිකෙට කන්න මොනාහරි අරන් එන්න හිතාගෙන.
“පොඩි මැණිකෙ එහෙම කියන්නෙ කොහොමද මැණිකෙ? මැණිකෙලැයි අම්මා ලෙඩගානෙ හිටියෙ ඔය පොඩි මැණිකෙ ලැබුණාට පස්සෙ. අම්මා වගේ පොඩි මැණිකෙව උස් මහත් කළේ ලොකු මැණිකෙ නෙවෙයිද?”
ගුණවතී කුස්සියෙ ඉඳල හයියෙන් කියවද්දි විමලා මැණිකෙ කුස්සිය පැත්තට ගියා. හදිස්සියෙවත් ගමේ වෙන එකෙක්ට ඇහුණොත් වසල හමාරයි. ගුණවතී වගේ හැම ගෑනිම හොඳ නෑ කියන්න විමලා දන්නවා.
“උන් මොනාද දන්නෙ ගුණවතී… අම්මයි, අප්පච්චියි නැති වුණාට පස්සෙ මං කොච්චර දුක් වින්දද උන් තුන්දෙනාව ඔය තත්වෙට ගේන්න. ලොකු මල්ලි නම් රට කියමුකො ඉන්නෙ. අනිත් උන් දෙන්න ඔහොම කරල හරි යනවද ගුණවතී. මං කියන්නෙ මට සැලකිලි ඕන නෑ. මං ඉන්න විදිහට ඉන්න දුන්න නම් ඇති දෙයියනේ.”
විමලා මැණිකෙ ඔසරි පොටින් මූණ තද කරන් අඬන්න ගත්ත. පිදුරු ගොඩක් වගේ, තෙල් බිඳක් දැකල නැති සුදු කෙස් ගස් ටික මූණ පුරා ඉහිරිලා. ගුණවතී ඉක්මනට තේ ටිකක් වත් කරල මේසෙ උඩින් තිබ්බා. ගුණවතී කඩේට හදන ආප්පවල ඉතුරු කොටස මැණිකෙ ළඟින් තිබ්බා.
“උදේට මුකුත් නැතුව වෙන්නැති මැණිකෙ ඔය යන්න තනන්නෙ… ආප්පයක් කාලා තේ ඩිංගක් බීල ඉන්ට.”
ගුණවතී එහෙම කියද්දි විමලා ගුණවතී දිහා බැලුවෙ ‘අපි උඹලගෙන් කෑවෙ බීවෙ කවද්ද?’ කියල අහන්න වගේ. ඒත් ඊට වැඩියි බඩේ ගින්දර. මැණිකෙ ආප්පයක් අරන් හෙමින් කන්න ගත්තා.
“මං මේ චන්ද්‍රා වැඩ කරන වැඩිහිටි නිවාසෙට යන්ට හිතන් ආවෙ ගුණවතී. පොඩ්ඩි ආයෙ යන පාටක් නෑ. ඊයෙ උදේ කියනව ඇහුණ ගෙයි ඔප්පුව හොයාගන්න ඕන කියල…”
තේ එකෙන් උගුරක් බීල විමල එහෙම කිවුවම ගුණවතීගෙ අත කම්මුලට ගියා.
“අප්පොච්චියේ… මැණිකෙ. එතකොට පොඩි මැණිකෙල කොළඹ හිටියයි කිවුව අර විසාල වලව්ව? මට මතකයි පියසිරි ගිය වංගියෙ මැණිකෙ එක්ක ගිහින් ඇවිත් කිව්ව දිවිය ලෝකෙ දුටුව වගෙ කියල. එහෙම හිටිය ඇත්තො මේ ගමකට ඇවිත් ඉන්නෙ කොහොමද මැණිකෙ?”
එතකොට නම් විමලා මැණිකෙට සුසුමක් වැටුණ; ඒක පා වෙලා ගිහින් පොඩ්ඩිට තමන්ගෙ දුක දැනුණා නම් කියල මැණිකෙට හිතුණ.
“ඒ හිටියයි කියන්නෙ කුලියට, විසිතිස්දාහක් ගෙවල මයෙ හිතේ… මේ දවස්වල හරියට කරදරලු. ළමයින්ට වියදම් වැඩීලු. පොඩි උන්ව මෙහෙ ඉස්කෝලෙට දාන්න කතා කරනව ඇහුණ මට.”
“මැණිකෙ දැන් දුක් නොවී ඉන්ට. මැණිකෙට පුළුවන් හැටියට පොඩි මැණිකෙටයි, නිලමෙලා දෙන්නටයි සැලකුවා. උස් මහත් කළා. වත්තෙපිටියෙ වැඩ කොළා. වීවින් ඉස්කෝලෙ ගිහින් ලැබෙන සොච්චම් පඩියෙන් ඔය තුන්දෙනා ලොකු ලොකු තැන්වලට ගියෙ. දැන් මැණිකෙ සතුටු වෙන්ට ඒ අය ගැන.”
ගුණවතී එහෙම කියද්දි විමලා කල්පනාවට වැටුණා. පොඩ්ඩි තමා පවුලෙ බඩපිස්සි. එයා ලැබුණට පස්සෙ අම්මා අසනීප වුණා. අසනීපෙ මොකක්ද කියල හොයාගන්න කලින් අම්මා මියැදෙද්දි පොඩ්ඩිට අවුරුදු හතරයි. එතන ඉඳල අප්පච්චිට උදවු කරන් මල්ලිලා ඉස්කෝලෙ යවාගෙන පොඩ්ඩි බලාගත්ත හැටි විමලට මතක් වුණා. පොඩ්ඩි කිහිල්ලෙ ගහන් අප්පච්චිට තේ අරන් ගියා. විමලා මැණිකෙලා ගමේ වැදගත් උදවිය වුණාට යමක්කමක් තිබ්බ අය නෙවෙයි. කුඹුරු වැඩ කරල, ලී ඉරන්න ගිහින් තමයි අප්පච්චි කීයක් හරි හොයාගත්තෙ. ඒ වුණාට ගමේ හැමෝම අප්පච්චිට කතා කළේ ලොකු නිලමෙ කියල. ඒ තරම් නම්බුකාර පවුලක්.
“ලොකු පුතේ, ඔය පොඩ්ඩිගෙ හිසකේ තඹ ගැහිල. තෙල් ටිකක් දාපන් ඔළු ගෙඩියට.” අප්පච්චි එහෙම කිවුවෙ වෙලට තේ අරන් ගියපු වෙලාවක.
පහුවදා තේ අරන් යද්දි පොඩ්ඩිගෙ ඔළුවට තෙල් ටිකක් දාන්න විමලට අමතක වුණා. විමලා පල්ලෙහා ඇළට නැමිලා වතුර ඩිංගක් අරන් පොඩ්ඩිගෙ ඔළුවෙ ගෑව. එදා අප්පච්චි හිතුවෙ පොඩ්ඩිගෙ ඔළුවෙ තිබුණෙ තෙල් කියලා.
“අනේ ලොක්කියේ… උඹ වයසට වඩා දුක් විඳිනව. උඹෙ ළමයින්ගෙ මූණ දකින්ට ඕනැ කාලෙ උඹ පොඩි එකීව බලාගන්නව පුතේ…”
අප්පච්චි එහෙම කිය කියා අඬපු විදිහ විමලා මැණිකෙට මතක් වුණා. එහෙම බලාගත්ත කෙල්ල නේද මේ ලොකු වෙලා ඉන්නෙ කියල සිහි වෙද්දි දරාගන්න බෑ.
“මට අක්කෙක් ඉන්නව කියල කොළඹ කවුරුත් දන්නෙ නෑ. අයියල දෙන්න ගැන විතරයි මගෙ යාළුවො දන්නෙ. ඒ හින්ද අක්කා අනිද්දට සාලෙට එන්ට එපා. හදිස්සියෙවත් එයාල අක්ක දැකල කතා කළොත් කියන්ට ගෙදර වැඩකාරි කියල.”
ඒ පොඩි කෙල්ල එහෙම කතාවක් කියයි කියල විමලා කවදාවත් හිතුවෙ නෑ. ඒ කතාව ගුණවතීට කියල පොඩ්ඩිට නරක නමක් ඉතුරු කරල යන්න හොඳ නෑ කියල විමලා මැණිකෙ හිතුව.
ලොකු මල්ලි නම් පොඩි කාලෙ ඉඳල තමන්ගෙ වැඩ තනියම කරගත්තා. එයාගෙ ඉගෙනීමත් එහෙමයි. අන්තිමට එයා පිටරට මහාචාර්යවරයෙක් වුණා. පොඩි මල්ලිත් කොළඹ ඔෆිස් එකක මුල්පුටුවෙ. තමන්ට ඒව ගැන සතුටු හිතුණට උන්ට මේ අක්ක ලජ්ජාවක් තමයි නේද කියල විමලාට හිතුණා.
විමලා මැණිකෙ කල්පනාවෙන්ම නැඟිට්ටා. දැන් තමන් යන්න ඕන නේද කියල ඇයට හිතුණා. වැඩිහිටි නිවාසෙට වෙලා ඉස්පාසුවෙන් ඉන්න පුළුවන් වෙයි කියල ඇය හිතුව.
“එහෙනං මං ගිහින් එන්නං ගුණවතී. දහයෙ බස් එකට කියල හිතන් මං පල්ලම් බැස්සෙ. උඹ බලල ගියෙ නැත්තං හිතට හරි නෑ නෙ. අපෙ ගෙවල් පැත්ත පොඩ්ඩක් බලපන්. කොළඹ ඇත්තන්ට ගමේ ගොඩේ ඉන්න විදිහ තේරෙන්නෙ නෑ නෙ. පියසිරි ආවම කියපන් කුඹුරු පැත්ත පොඩ්ඩක් බලන්ට කියල.”
“මට මැණිකෙව මේ ගෙයි තියාගන්න බැරිකමක් නෑ. ඒත් මේකෙ එකාලගෙ නොසණ්ඩාල කතා අහන්ට ඕනැ කෙනෙක් නෙවේ ලොකු මැණිකෙ. යන තැනක හොඳින් ඉන්ට මයෙ මැණිකෙ. මැණිකේ කාටවත් නරකක් කරල නෑ. බුදුන්ගෙ සරණයි ලොකු මැණිකේ.”
ගුණවතී ඇස්වල බෝල කඳුළු පුරවන් බලන් ඉද්දි, විමලා මැණිකෙ ගෙදරින් එළියට බැස්සා. ගුණවතීට තවත් කට වහන් ඉන්න බැරි වුණා. තමන්ට පිටුපාලා යන මැණිකෙට ඇය හෙමින් කතා කරා.
“ලොකු මැණිකෙ…”
විමලා මැණිකෙ බෙල්ල හරවල ගුණවතී දිහා බැලුවා.
“පොඩි මැණිකෙ දන්නවද ලොකු මැණිකෙ දීග නොගියෙ පොඩි මැණිකෙ බලාගන්න ඕනැ හින්ද කියල?”
විමලා මැණිකෙ හයියෙන් හුස්මක් ගත්තා. ගුණවතීට ඇගේ වේදනාව හොඳට දැනුණා.
“පොඩ්ඩි ඒ මුකුත් දන්නෑ ගුණවතී. දැනගන්ට තියන්ටත් එපා. ඒව උඹයි මායි දන්න රහසක්.”
එහෙම කියපු විමලා මැණිකෙ පසුපස නොබලාම හෙමින් ඇවිදන් පාර දිහාට ගියා. ළා කහ පාට ඔසරිය ඇඳන් තමන්ට පිටුපාල යන විමලා මැණිකෙ ගැන ගුණවතීට සිහි වුණා. කසාදයක් කරන්න කියල මනමාලයො දහයක් දොළහක් ගෙන්නුවත් විමලා මැණිකෙ කැමැති වුණේ නෑ. ඒ ඇත්තොන්ගෙ එක එක වැරදි අඩුපාඩු කිවුවා. ඒත් ඇත්ත දැනන් හිටියෙ විමලා මැණිකෙයි, ගුණවතියි විතරයි. ගුණවතී නැමිලා, ඇඳන් හිටපු චීත්තෙන් කඳුළු පිහගත්තා.
එක් මුනුපුරෙකු ළදරු පාසලටත් අනෙක් මුනුපුරා පාසලටත් ඇරලවා එම ත්‍රිරෝද රථයෙන්ම ආපසු නිෙවසට පැමිණීම උපතිස්සගේ දෛනික රාජකාරියේ කොටසකි.
නිෙවසට මීටර් දෙතුන් සියයක් තිබුණ ද පියතිස්ස ත්‍රිරෝද රථයෙන් බැසගත්තේ වෙනදා පුරුද්දටය. හැමදාම උදේට දිනපතා පත්තරයත් අරගෙනම නිෙවසට යන්න පියතිස්ස පුරුදු වුණේ පුතාලාගේ නිෙවසේ නැවතීමට පැමිණි දිනවලදීමය. උදෑසන අටහමාර පසුවී නැතත් පරිසරය පෙන්නුම් කළේ බොහෝ දහවල් වී ඇති ස්වභාවයකි. සෑම වසරකම වාගේ මෙවර පෙබරවාරියත් දැඩි හිරු රැසින් පහර කෑමට නියමිත බව සොබාදම දැන්මම ඉඟි කරන්නට විය.
“මේ පාර නම් පෑවිල්ල සෑහෙන්නම අල්ලයි වගේ නේද මහත්තයා”
පියතිස්ස දුටු මුදලාලි කඩෙන් එළියට බැස්සේ පත්තරය පත්තර ලෑල්ලෙන් ගලවාගෙනමය.
“ඒවගෙයි මුදලාලි පුදුම රස්නයක් තියෙන්නේ. පාන්දරට සීතලයි අට අටහමාර වෙනකොටම ඉර පුපුරන්න වගේ වෙනවා.”
වෙනදා වගේ කතා බහකට මුදලාලි සැරසුණත් ඇඟට දැනුණු තෙහෙට්ටුව නිසාම පියතිස්ස පත්තරයත් අරගෙන නිෙවසට එන්න හැරුණා. ගේට්ටුව ඇරගෙන ඇතුළු වෙනකොටම මිදුලේ ඇති මල් පැළ දෙක තුන වේළෙන්න හැරිලා තියෙන බව පියතිස්ස දුටුවා.
“රුවිනි දුවත් දකින දකින ප්‍රදර්ශනයෙන් මල් පැළ උස්සගෙන එනවා,
අන්තිමට වතුර නැතිව වේළිලා ඒවා මැරිලා යනවා.”
පියතිස්ස තමන්නටම මුමුණාගත්තා.
“මොන අත් ගුණයක්ද මන්දා පොල් සම්බෝලයි බතුයි දුන්නත් තුන් වේලම කෑහැකි” පියතිස්ස කුමාරිගේ කෑම පිසීමේ දක්ෂතාවය වර්ණනා කළේ එහෙමයි.
“රුවිනි දුවත් මහ රෑ ඉඳලම නැඟිටගෙන කුස්සියේ යුද්දේ; උදේට දවල්ට රෑට තුනටම නානාප්‍රකාර කෑම හැදිලි; රස්සාවට ගියත් දරුවන්ට හොඳම දේ දෙන්නයි බලන්නේ. ඒත් මට නම් ඒ කෑම කටේ තියන්න බැහැ.”
ගිය මාසේ ලොකු දූලගේ ගෙදරට කුමාරි බලන්න ගිය වෙලාවේ කුමාරි එක්ක කියපු කතාව මතක් වෙලා පියතිස්සගේ කට කොනකට හිනාවක් ආවා.
එදා ආපහු එනකොට කුමාරි දූලගේ ගහෙන් කඩලා ඇඹරැල්ලා මාළුවක් උයලා දුන්නේ ශීතකරණයේ තියාගෙන ටික ටික කන්න කියලා. ඒත් ඒක ගෙනැත් මේසය උඩ තියපු ගමන්ම හරි රසයි කියලා වැඩි හරිය කෑවේ පියතිස්සගේ පොඩි පුතා මිහිර.
“අම්මා උයලා දුන්නොත් ඕන දෙයක් මෙයාලට රසයි”
රුවිනි දුව කිව්වේ විහිළුවට නොවන බව පියතිස්සට ඒ වෙලාවෙම තේරුණා.
පියතිස්සටයි කුමාරිටයි දරුවෝ හතර දෙනයි. එක දුවෙක් ඔස්ට්‍රේලියාවේ. එක පුතෙක් සිංගප්පූරුවේ. ලොකු දුවයි පොඩි පුතයි ඉන්නේ ලංකාවේ. හතර දෙනාම හොඳින් ඉගෙනගෙන හොඳ රැකියාවන් කරන විවාහක උදවිය. දරුවෝ විවාහ වෙලා වෙනම පදිංචියට ගියාට පසුව මහගෙදර ඉතිරි වුණේ පියතිස්සයි කුමාරි විතරයි.
“මීට පස්සේ අපි දෙන්නට ඕන දෙයක් කාලා, ඕන තැනක ගිහිල්ලා පිනක් දහමක් කරගෙන පාඩුවේ ඉන්න පුළුවන්.”
කුමාරි එහෙම කිව්වේ පියතිස්ස විශ්‍රාම යන දවසට කලින් දවසේ රෑ. ඇත්තටම පියතිස්සත් හිතුවේ එහෙමයි. ඉගෙනගන්න කාලේ ඉඳලම පාරටම ගතවුණු ජීවිතේ පිළිවෙළක් කරගෙන ගහක් කොළක් වවාගෙන කුමාරිත් එක්ක නිස්කාංසුවේ ගත කරන්නට පියතිස්සටත් ලොකු ඕනෑකමක් තිබුණා.
ඇත්තටම පියතිස්සටත් කුමාරිටත් එකට සතුටු වෙන්න විනෝද ගමන් යන්න ඉඩකඩක් අවකාශයක් තරුණ කාලෙවත් තිබුණේ නැහැ. පියතිස්ස රාජකාරියට හිරවෙලා හිටි අතර කුමාරි හිටියේ නිවෙසට හිරවෙලා. දරවෝ හතරදෙනෙක් කියන්නෙත් ලොකු වගකීමක්. පියතිස්සට කුමාරි පිට කෙනෙක් නෙවෙයි. පියතිස්සගෙම මාමගේ දුව. ඇවැස්ස නෑනා. පියතිස්සට වඩා අවුරුදු හත අටක් බාල කුමාරි පවුලේ එකම දරුවා.
පියතිස්සගේ තාත්තා එතරම් වත්පොහොසත්කම් තිබුණු අයෙක් නෙවෙයි. කුඹුරක් කරගෙන කොරටුවක් හිටවගෙන හිටපු සාමාන්‍ය ගම්බද ගොවියෙක්. පියතිස්සගේ පවුලත් බරසාරයි. ළමයි හයදෙනෙක්. ඒහැටි ළමයින්ට උගන්වන්න කරදර වෙන්න, හොඳ රස්සාවකට යවන්න උවමනාවක් පියතිස්සගේ තාත්තටවත් අම්මටවත් තිබුණේ නැහැ.
කුමාරිගේ තාත්තා තේමිස් මුදලාලි එහෙම නෙවෙයි. හොඳට හිතලා මතලා අනාගතය සැලසුම් කරපු දක්ෂ ව්‍යාපාරිකයෙක්. ඔහු තමන්ගේ ඉලක්කය සපුරාගන්න තෝරගත්තේ අක්කාගේ දරුවෝ හයදෙනාගෙන් හතරවෙනියා වුණු පියතිස්සවයි. එයට හේතුව වුණේ හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනේ කියනවා වගේ මුල ඉඳලම පිරිසක් අතර කැපී පෙනෙන පින් පාටක් පියතිස්සට උපතින්ම උරුමව තිබීමයි. ඒ විතරක් නෙවෙයි පාසලේදී පන්සලේදී වගේම ගමේ පොදු කටයුතුවලදිත් කර නොඇර ඉදිරිපත්වන ගතියක් වගේම හොඳ දක්ෂතාවයකුත් පියතිස්සට තිබුණා.
පියතිස්ස මෙන්ම ගොවි පවුලකින් පැමිණ සිටි වජිරාගේ ළගන්නා සුළු සිනහවේ තම හිස මත බලෙන් තැබූ කිරුළු ගලවා වීසි කළ හැකි යම් බලයක් වෙතැයි එකල පියතිස්ස සිතාගෙන සිටියේය. නමුත් සරසවියෙන් පිටව නැවත ගමට ආ පියතිස්සට වැටහුණේ රැකියාවක් ලබාගැනීමේ එකම පිළිගත් මාර්ගය උපාධිය නොවන බවයි. ඉල්ලුම් පත්‍ර පුරවමින් සම්මුඛ පරීක්ෂණවලට රස්තියාදු වෙමින් ගෙවූ කාලයේදී සරසවියෙන් ඉගෙන නොගත් බොහෝ දේ උපතිස්ස අත්දැකීමෙන් ඉගෙනගෙන තිබිණි.
අවසන මාමාගේ පිහිටෙන් ප්‍රදේශයේ මන්ත්‍රීතුමා හමුවී ඒ මාර්ගයෙන් හඳුනාගත් පුද්ගලයෙකුට ගතමනාවක් අතමිට මොළවා අත යටින් ලබාගත් රජයේ ලිපිකාර රැකියාවකට පියතිස්සට යන්නට හැකි වූයේ නිදහස් අධ්‍යාපනයේ නිදහස කොතනදැයි ප්‍රශ්න කෙරෙන වාතාවරණයකය. හමුවීමේ පහසුකම් හෝ කතාකිරීමේ පහසුකම් නොතිබුණු යුගයක වසරකට පසුව සරසවියෙන් පිටවූ වජිරා ද එක් වූයේ රැකියා විරහිත උපාධිධාරීන් ගොඩටමය.
තමා වංචාවක් පොරොන්දු කඩකළ බවක් විටින් විට පියතිස්සගේ හදවත රිදවුවද මුල සිටම වජිරා ද මේ පිළිබඳව දැන සිටි බව පියතිස්සට නොරහසකි. කවදාක හෝ තමා අමතක කර නෑනා විවාහ කරගනු ඇතැයි අවිශ්වාසය මුසු වදන් වජිරාගේ මුවින් පිටවන සෑම විටකම එය එසේ නොවන බව පෙන්වීමට තමන් දැරූ ව්‍යාජ උත්සාහයන් සිහිවන විට පියතිස්සට අදත් දැනෙන්නේ පසුතැවීමකි. නමුත් වජිරා කෙරෙහි තම සිත්හි හටගත් ඒ අකලංක ප්‍රේමය වෙනත් හේතු නිසා අතරමග විනාශ වී ගියද ඒ පිළිබඳව වෙනකෙකුට තබා තම මාමාටවත් දොස් නැඟීමට පියතිස්සගේ සිත නොනැමෙයි.
“මේ තමයි වෙන්න තිබුණු දෙය”
පියතිස්ස හැමදාමත් හිත හදාගත්තේ එලෙසිනි.
වජිරා පිළිබඳව හාංකවිසියක්වත් නොදත් කුමාරි තවමත් සිතා සිටින්නේ පියතිස්සගේ හදවතේ එකම උරුමක්කාරි තමන් කියාය. කුඩා කල පටන්ම දැන හඳුනන පියතිස්සගේ ඕනෑ එපාකම් අකුරටම ඉටුකරමින් යහපත් බිරිඳක, මවක, ගෘහිනියක යන භූමිකා තුනෙහිම වගකීම අකුරටම ඉටු කරන කුමාරි තම බිරිඳ වීමද
“විය යුතුම දෙයක්”
ලෙසින් පියතිස්සට හැඟීයන්නට පටන් ගත්තේද අද ඊයෙක නොවේ.
විශ්‍රාම ගැනීමෙන් සතියක් ඉක්මෙන්නට පෙර ඔස්ට්‍රේලියාවේ වෙසෙන දියණිය කතා කර පැවසුවේ වෛද්‍යවරුන් වන තමන්ට සිඟිති දියණිය නිසා රැකියාවේ කටයුතු කළමනාකරණය කරගැනීමට අපහසු බවකි. දරුවා බලාගැනීමට කෙනෙකු සොයා ගතහොත් ඒ සඳහා වන මුදල නොදැරිය හැකි තරම් වන හෙයින් අම්මාටත් තාත්තාටත් මඳ කලකට තමන් හා විසීමට ඔස්ට්‍රේලියාවට පැමිණෙන ලෙස කෙරුණු ඉල්ලීමක් ද ඒ සමඟම ඉදිරිපත් විය. වෙනසකටත් එක්ක දෙදෙනාම එක්ව යන ගමනක් හෙයින් පියතිස්සත් කුමාරිත් ඒ ඉල්ලීම සතුටින් භාරගත් අතර ඒ සඳහා අවශ්‍ය කටයුතුද වහ වහා සම්පාදනය කරගැනීමට උත්සුක විය.
ඔස්ට්‍රේලියා ගමනට මඳ කලක් තියා කතා කළ සිංගප්පූරුවේ වෙසෙන පුතාගෙන්ද ඉල්ලීමක් ඉදිරිපත් වූයේ බලාපොරොත්තු නොවූ අයුරිනි. ඉංජිනේරුවන් වූ ඔවුන් දෙදෙනාගේ එකම පුතුද නිෙවසේ තනිකර රැකියාවට යාමට අපහසු බැවින් මඳ කලකට තමන් හා විසීමට එන ලෙස අම්මාටත් තාත්තාටත් කෙරෙන ඉල්ලීමකි එය. එක් ඉල්ලීමක් හෝ අහක දැමීමට නොහැකි තත්ත්වයට පත්වූ පියතිස්සත් කුමාරිත් ජීවිතයේ අසීරුම තීරණයට එළඹියේ කොයි දරුවාටත් අවශ්‍ය වූ විටදී උපකාර කිරීම දෙමවුපිය වගකීමක් ලෙස සලකමිනි.
ඒ අනුව වසර තිස් ගණනක විවාහ දිවියේ රාජකාරි හේතු මත දින කිහිපයකට වඩා වෙන් නොවුණු ඔවුන් දෙදෙන වසර දෙකක දීර්ඝ වෙන්වීමක් උදෙසා කුමාරි ඔස්ට්‍රේලියාවටත් පියතිස්ස සිංගප්පූරුව බලාත් පිටව යන්නට යෙදිණි. පියතිස්ස වසර දෙකකින් ආපසු ලංකාවට ආවත් කුමාරිගේ කාලය තවත් වසරකින් දීර්ඝ කරගන්නට සිදුවූයේ දියණියට තවත් දරුවෙකු ලැබීම හේතුවෙනි.
කුමාරි එන තුරු මහ ගෙදර තනිව ගෙවූ වසරක පමණ කාලය පියතිස්සට දැනුණේ කල්පයක් මෙනි. මොනවා හෝ උයාගෙන කා ගේ දොර අස්පස් කරගෙන වත්තේ ගහක් කොළක් හිටවගෙන ගෙවූ නිහඬ ජීවිතය ද සිංගප්පූරුවේ තට්ටු නිවාසෙක හිරවී ගෙවා දැමූ ජීවිතයට වඩා නම් බෙහෙවින්ම යහපත් බව පියතිස්ස පැවසුවේ කුමාරි ආපසු ආවිටය. කුමාරි ලංකාවට පැමිණ දෙදෙනා එක වහලක් යට එකට එක්ව ජීවිතයේ සැඳෑ සමය නිස්කාන්සුවේ ගෙවා දැමීමට හැඩ ගැසුනා පමණි පිළියන්දල ලොකු දුවගේ මෙහෙකාර ප්‍රශ්නය උග්‍ර විය. දන්නා අඳුනන අය මාර්ගයෙන් මෙන්ම ඒජන්සි මාර්ගයෙන්ද සොයාගන්නා මෙහෙකාරියන් මාස දෙක තුනකට වඩා ඈ වෙත නොරැඳෙන්නේ දුවගේ ඇති අති පිරිසිදු පිළිවෙත නිසා බව පියතිස්සට පහදා දුන්නේ කුමාරිය.
කොහේ සිටියත් දෙදෙනාම එක තැනක නොවේදැයි සිතූ පියතිස්සත් කුමාරිත් පිළියන්දල ලොකු දුවගේ නිෙවසේ නැවතීමට ගියේ තුන් හැවිරිදි මිනිබිරිය බලාකියා ගන්නා අපේක්ෂාවෙනි. මඳක් ඉඩ පහසුකම් ඇති භූමියක පිහිටා තිබූ දෙමහල් නිෙවසේ කළයුතු වැඩ කටයුතු බොහෝ වූයෙන් පියතිස්සටද ගමෙන් ඈත් වීමේ කාන්සිය එතරම් නොදැනිණි. නිෙවස පිටුපසට වන්නට තිබූ හිස් බිම්කඩේ මෑ වැලක්, තක්කාලි පෝච්චි කිහිපයක් වගේම ගෝවා හා මාළු මිරිස් පෝච්චි කිහිපයක් ද පියතිස්ස වවාගෙන තිබූ අතර උදේ සවස ඒවාට සාත්තු සප්පායම් කිරීමෙන් අසීමිත තෘප්තියක්ද ලැබීය. මිරිස් ගස්වල සුදු මල් පිපෙන විට, ළපටි තක්කාලි රතට හැරවෙනවිට පියතිස්සට දැනුණේ තමන් පිළිබඳ ආඩම්බරයකි.
එවර ගැටලුව පැන නැංගේ කිරුළපන පදිංචි පොඩි පුතාගේ නිෙවසෙනි. ඒ රවිනිගේ මවගේ අසනීපයත් සමගිනි. පොඩි පුතු මිහිරගේ කුඩා පිරිමි දරුවන් දෙදෙන බලා කියගත්තේ පාසලට රැගෙන ගියේ නැන්දම්මා වන රවිනිගේ මව විසිනි. නමුත් ඇයට හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් පුතුගේ පවුල පමණක් නොව පියතිස්සත් කුමාරිත් නැවත අසරණ විය. පුතුගේ වචනය අහක දැමීමට නොහැකි තැන එහි ගොස් ටික දිනක් නැවතීමට පියතිස්ස කැමති වූයේ කුමාරි වෙතින් එල්ල වූ විරෝධයද මැදය.
ටික දිනක් යැයි කීවද ගිය ජනවාරියට මෙහි විසීමට පැමිණ අවුරුද්දක් සපිරිණි. බාල මුනුපුරා ළදරු පාසලටත් අනෙක් මුනුපුරා පාසලටත් ඇරලවා නැවත ඔවුන් නිෙවසට රැගෙන ඒම පියතිස්සට පැවරුණු මූලිකම රාජකාරියයි. මුනුපුරන් දෙදෙනා තමන් හට දක්වන අසීමිත සෙනෙහසට පිටුපා ගමට යාමට පියතිස්සගේ හදවත ඉඩ නොදේ. දෙදෙනාම ගමට ගියහොත් දුවගේ මෙන්ම පුතුගේ පවුල්වලද අවුල් ජාලයක් මැවෙන අතර හයක් හතරක් නොදන්නා දරුවන් මෙහෙකාරියක අතට පත්කර යාමටද සිදුවේ. උභතෝකෝටික ප්‍රශ්නයක පැටලී සිටින පියතිස්ස කුමාරි යුවළ දෙපළක ගත කරන්නේද කනස්සල්ලෙන් පිරි දිවියකි.
ඇඳුම් මාරු නොකරම පුටුවේ ඇලවී සිටි පියතිස්ස නැවත ගෙතුළට එබී බැලුවේ වෙලාව හරිදැයි කියාය. දොළහට බාල මුනුපුරා ළදරු පාසලෙන් රැගෙන දොළහමාර වන විට අනෙක් මුනුපුරාගේ පාසල අසලට යා යුතුය. ඒ සඳහා ත්‍රිරෝද රථය එකොළහමාර වන විට ගේට්ටුව අසලට පැමිණේ. තවම වේලාව නවයහමාරය.
“උදේටයි දවල්ටයි දෙකටම හරියන්න බත්ම කනවා.”
සිතූ පියතිස්ස අසුනෙන් නැඟිට ගෙතුළට ගමන් කළේ ඉදිරිපස දොර වසාගෙනය. වෙනදා නවය වන විට කතා කරන කුමාරි අද තවම කතා කළේද නැත.
“අද බබා අඬලා කුමාරිව මොන්ටිසෝරියෙම නවත්ත ගත්තද දන්නෙත් නැහැ.”
කෝකටත් පියතිස්ස හිතාගත්තේ කෑම කා ඉන් අනතුරුව කුමාරිට ඇමතුමක් ගන්නටය.
දුරකතනය නාද වන විට පියතිස්ස කෑම කා අත සෝදා ගත්තා පමණි.
“කුමාරි වෙන්න ඇති”
අඩිය ඉක්මන්කර දුරකතනය වෙත ගියද කතා කළේ කුමාරි නොව මිහිරය. කෙදිනකවත් මේ වේලාවට කතා නොකරන පුතු අවේලාවේ කතා කිරීම පිළිබඳව පියතිස්සට ඇති වූයේ කුතුහලයකි.
“ඇයි පුතේ හදිස්සියක් ද”
“තාත්තේ පොඩි ප්‍රශ්නයක් වෙලා
අම්මා හොස්පිටල් එකේ”
“මොනවා වෙලාද”
“පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා”
පියතිස්සට දැනුණේ තමන් පය ගසාගෙන සිටින පොළව ඇඹරී නාය යන සෙයකි. වැටෙන්නට ගිය සිරුර වාරු කරගෙන අසල පුටුවකට බරවූ පියතිස්ස කිසිවක් පවසාගත නොහැකිව මොහොතකට ගොළු විය.
“තාත්තේ
තාත්තේ”
යනුවෙන් මිහිරගේ බියපත් හඬ රිසිවරය ඔස්සේ ගලා විත් පියතිස්ස නැවතත් පියවි සිහියට ගෙන ඒමට සමත් විය.
“තාත්තා කලබල වෙන්න එපා තව පැය බාගයකින් මම බබාල දෙන්නත් අරගෙනම ගෙදරට එනවා. තාත්තා ලෑස්ති වෙලා ඉන්න. හොස්පිටල් එකට යන්න.
මිහිර එන විටත් පියතිස්ස නිෙවසේ දොරවල් වසා ගේට්ටුවද වසාගෙන පාරට පැමිණ පාර දිගේ මඳක් ඉදිරියටද ගමන් කර අවසානය.
“උදේ බබාව නර්සරි එකට දාලා අම්මා පාර පැනලා තියෙනවා ත්‍රීවීලර් එකක් ගන්න. එතකොට වේගෙන් ආපු මෝටර් සයිකලයක් සුදු ඉරේදී අම්මව හප්පගෙන ගිහින් එතන හිටපු මිනිස්සු එකතුවෙලා අම්මව හොස්පිටල් ඇඩ්මිට් කරලා ඒ තරම් අමාරුවක් නැහැ, ඇඟේ සීරීම් තුවාල විතරයි.”
“ඒත් අක්කා අම්මව බලෙන් ටිකට් කප්පවාගෙන ප්‍රයිවට් හොස්පිට්ල් එකකට ඇඩ්මිට් කළා.”
“ඔක්කොම පරීක්ෂණ ටික කරගන්නයි අක්කගේ අදහස කියන්න බැහැනේ ඔළුව එහෙම හැප්පිලද කියලා.”
මිහිර කතා කරන්නේ ඉදිරිය බලාගෙනය. ඔහුටද පියතිස්සගේ කඩා වැටුණු මුහුණ දෙස බැලීමට හිත හදාගන්න බැරි සෙයකි. තමන් මොනවා කිව්වත් අම්මා දෑසින් නොදැක තාත්තා හිත හදාගන්නේ නැති බව මිහිර දනී.
රෝහලට පැමිණීමට ගතවූ අඩ පැයක පමණ කාලය තම දිවියේ ගෙවූ දිගම විනාඩි කිහිපය බව පියතිස්සට හැඟිණි. රෝහල් කොරිඩෝවේ සුවිසල් කුලුනු පියතිස්සට පෙනුණේ බොඳව ගිය අයුරිනි. තට්ටු ගණනාවක් ඉහළට ඇදී ගිය විදුලි සෝපානයෙන් බැසගත් ඔවුන් කාමර කිහිපයක් පසුකර ගොස් නැවතුණේ කුමාරිගේ නම සඳහන් කාමරය අභියසය. කාමරය තුළට යාමට දිරි එලවාගත නොහැකි වූ පියතිස්ස ඒ සඳහා පුතුට ඉඩ දී පසෙකට විය. එල්ලයක් නැතිව ගමන් කළ පියතිස්සගේ බැල්ම නැවතුණේ කරකැවෙන විදුලිපංකාව වෙතය. සුදු ඇඳ ඇතිරිලි හා කොට්ට මෙට්ට අතරින් කුමාරිගේ කුඩා සිරුරත් අමාරුවෙන් මුවට නඟා ගත් සිනහවත් දුටුවේ අනතුරුවය. තැනින් තැන ප්ලාස්ටර් අලවා තිබූ කුමාරිගේ අතපයවලට අමතරව නළලේ වම්පසට වන්නටද ප්ලාස්ටරයක් අලවා තිබිණි. දරුවන් බලාසිටින්නේ යැයි යන චකිතයද අමතක කර පියතිස්ස කුමාරි වෙතට නැවී දෑතින්ම ඇගේ අත අල්ලා ගත්තේ ගැහෙන හදවතින්ය.
“දැන් කොහොමද”
“ඒ තරම් අමාරුවක් නැහැ මහත්තයා”
කුමාරි පැවසුවේ බෙහෙත් මතින් නිදිබරවූ දෙනෙත් ආයාසයෙන් විවර කර ගනිමින්ය.
රාත්‍රියට කුමාරි ළඟ නැවතීමට දියණියත් රුවිනිත් දෙදෙනාම ඉදිරිපත් වූව ද පියතිස්ස එකහෙලාම කියා සිටියේ තමන් කුමාරි ළඟ නවතින බවය.
ඇඳ අසල පුටුවක ඇලවී හුන් පියතිස්සට මඳක් නින්දයාගෙන එද්දීම ඇසුණේ කුමාරි තමන් අමතන හඬය.
“මහත්තයා මට මෙහෙ ඉන්න බැහැ අපි ගෙදර යමු”
“ඔව්; අපි යමු සනීප වුණු ගමන්ම යමු”
“අපි අපේ ගෙදර යමු”
පියතිස්ස පැවසුවේ කුමාරිගේ හිස සෙමෙන් අතගාමිනි.
ප්‍රකට කවියකු හා කෙටිකතාකරුවකු වූ උස්බෙකිස්තාන ලේඛක මිර්ෂුක්සින් ගේ කෙටිකතාවක්
සාමාන්‍යයෙන් ඔහු අවදි වන්නේ හිරු පායා සෑහෙන වේලාවක් ගතවූ පසුවය. ජනෙල් පියන අතරින් ඔහු නිදන කාමරයට හිරුරැස් වැටෙයි. කාමරයේ බිම අතුරා ඇති දම් පැහැති කළාලය හිරුරැස් වැටී දීප්තියෙන් බැබළෙයි. එහෙත් අද දින ඔහු හිරු උදාවට පෙර අවදිව ඇත. ඔහු සුපුරුදු පරිදි අම්මාගේ උණුහුම ලබාගැනීම සඳහා ඇඳ අතගා අම්මා සිටිනුයි බැලුවේය. අවදිවූ වහාම අම්මාගේ බෙල්ල බදා ගෙන සිප ගැනීම ඔහුගේ සිරිතය. එවිට ඔහුට අම්මාගේ සුපුරුදු සුවඳ දැනේ. එහෙත් අද ඇය නැත. ඇඳ හිස්ය. නිසලය. ඔහුගේ පුංචි හදවත තුළ සියුම් වේදනාවක් හට ගත්තේය. ඔව් අම්මා නැත. ඇය මිය ගොසිනි.
එර්කින් හෝන්දු මාන්දු ගතියෙන් අවට බැලුවේය. ඔහුගේ ආච්චි පැරණි සිරිතට අනුව පැදුරක නිදාගෙන සිටියාය. අම්මා නොමැති ඇඳ හිස්ව ඇත.
ඒ ඇඳ මත වාඩිගෙන එර්කින් උකුල මත තබා ගන්නා අම්මා ඔහුගේ ඔලුව අතගාමින් කම්මුල් සිප ගන්නා අයුරු ඔහුට සිහිවිය. එර්කින් අම්මාගේ ගෙල වටා දමා තිබූ රන් මාලය සමග සෙල්ලම් කළ අයුරු ඔහු ඉදිරියේ මැවී පෙනෙන්නට විය. ඔහු අම්මාගේ මුහුණ සිප ගනී. ඉන්පසු සිනාසෙයි. ඔව් දැන් ඔහුට අම්මා අවශ්‍යව ඇත. ඇයව නැවත දකින්නේ කෙසේද?
ඔහුට ඉකි ගැසිනි. ඔහු ඇස් පිස දමා ගත්තේය. තමා තනිවී ඇති බව ඔහුට හැඟිණි. ඔහුට අම්මා අවශ්‍ය විය. ඇගේ උකුලේ හිස ඔබාගෙන ඇගේ උණුසුම් අත්වලින් තම මුහුණ පිරිමද්දවා ගැනීමට ඔහුට අවශ්‍ය විය. එහෙත් ඔහුගේ මව පෙනෙන්නට නැත. ඇය ගොස් ඇත්තේ කොහිද ඇය ආපසු එන්නේ කවදාද? ඔහුට ඇයව දැඩි ලෙස අවශ්‍යව තිබියදී ඇය කොතෙක් කලක් ඔහුගෙන් ඈත්ව සිටීද?
ඇය අසනීපයෙන් එම ඇඳේ වාඩිවී සිටියදී තමාට කියූ කතාවක් හදිසියේම ඔහුට මතක් විය.
“එර්කින් මගේ රත්තරන් පුතේ. මම ගියාට පස්සේ පුතාට මාව ගොඩාක් ඕනෙ වුණොත් මල් ටිකක් අරගෙන මගේ මිනී වළ ළඟට යන්න. එතකොට පුතාට සැනසීමක් ලැබේවි. මටත් ඒක සැනසීමක්. මම පුතාව දැක්කා. මගේ පුතාට මාවත් මට පුතාවත් නැතිවේවි. පුතා ලොකු මහත්වෙලා කසාද බැන්දහම දෙන්නම මගේ මිනී වළගාවට එන්න ඕනේ. මට පුතාගේ බිරිඳවත් බලන්න ඕනෙ තේරුණාද?
අම්මා මිය ගියේ ඇයි? එය සිදුවිය යුත්තක්ම වීද? ඇය අසනීප වූයේ ඇයි? අනෙක් මිනිස්සු ද අසනීප වෙති. එහෙත් මිය යන්නේ නැත. ඇය පමණක් මිය ගියේ ඇයි? මේ සියල්ල වැරදිය. ඇය ඉතාම කරුණාවන්ත අම්මා කෙනෙකි. අනෙක් සියලුම අම්මලට වඩා ලස්සන අම්මා කෙනෙකි. අම්මා කවදාවත් අකරුණාවන්ත ලෙස කතා කර නැත. එවැනි කරුණාවන්ත ලෙස කතා කර නැත. එවැනි කරුණාවන්ත අම්මා මිය ගියේ ඇයි?
එර්කින්ට මෙය වටහා ගත නොහැකි විය.
ඔහු එම විශාල ඇඳේ තනිවම කඩවුණු බලාපොරොත්තුවලින් යුතුව වාඩිගෙන සිටියේය. ඔහුගේ ඇස්වලින් නැවත කඳුළු කඩා වැටිණ. එහෙත් ඉතාම සුළු දෙයට පවා අඬන ළමයින්ට අම්මා අකමැතිය. කෙසේ වෙතත් ඔහුට එක දෙයක් අවශ්‍යව ඇත. අම්මා ඔහුගේ බඳ වටා අතක් යවා ඔහු බදාගෙන සිපගත යුතුය. ඔහුව ඈ ළඟට ගෙන උණුසුම් කළ යුතුය.
ඇගේ කට හඬ ඇසීමට ඔහු ආශා කළේය. එහෙත් ඇය අද එහි නැත. අම්මා එහි නැත. කාමරයේ බිත්ති, බිම එලා ඇති කළාලය. ඔහු වටා ඇති සියල්ල සීතලය. ඔහුට අම්මා අවශ්‍ය විය.
එර්කින් තවමත් ඇඳ මත වාඩිගෙන සිටියේය. බිත්තියේ එල්ලා ඇති අම්මාගේ සහ තාත්තාගේ ඡායාරූප දෙස ඔහු බැලුවේය. එහෙත් එයින් ඇති ඵලය කුමක්ද? එය පින්තූරයක් පමණි. ඔහු දිග සුසුමක් හෙළුවේය.
නිවස නිහඬය. අඳුරුය. අම්මාගේ නම රානෝයි. එහි තේරුම ලස්සන, නිහතමානී සහ සිත් ඇද ගන්නා සුලු යන්නයි. මේ සියලු ගුණාංග ඇය සතුවිය. ඇගේ විශාල කළු කෙස් කළඹ නිතඹ දක්වා වැටී තිබිණ. ඇගේ දෙතොල් නිතරම සිනහව රැඳී ඇත. ඇගේ ඇස් හැමවිටම දීප්තියෙන් බැබලිණි. ඇය සිල්ක් ඇඳුමින් සැරසුන විට ඇගේ අගය වැඩි විය.
විසිහය හැවිරිදි වියේදී ඇය සුව කළ නොහැකි රෝගයකට ගොදුරු වූවාය. සියලුම ශක්තිමත් මිනිසුන් හැර දමා ඇයව ඒ සඳහා තෝරා ගත්තේ ඇයි? පළමු වරට ඇයගේ ශරීරයේ අසනීපයක් ඇතිවුණු විට ඇය වැඩි සැලකිල්ලක් නොදැක්වූවාය. ඔවුහු ඇයව ශල්‍ය කර්මයකට භාජනය කළහ. එහෙත් ප්‍රතිඵලයක් නොවීය. රනෝගේ ශරීරය දිරා යෑමට පටන් ගත්තේය. ඇගේ මුහුණ අඳුරු වී කම්මුල් ගිලී ගියේය. නහය ඉදිරියට නෙරා ආවේය. ඇගේ අත් පා දර කෝටු බවට පත් විය. දැඩි හිරු රශ්මියෙන් වියළී ගිය පලතුරු ගෙඩියක් මෙන් ඇය මැලවී ගියාය. සෙමින් ගලා යන ගඟක් මෙන් ක්‍රමයෙන් ඈ තුළින් ජීවිතය ඉවත් විය. ලස්සන රානෝගෙන් ඉතිරි වූයේ ස්වල්පයක් පමණි.
අවසානයේදී ඔවුහු ඇයට වේදනා නාශක බෙහෙත් සහ නිදි පෙති වර්ග දුන්හ. ඇය මුළු දවස පුරා ම ඇඳ මතට වී බ්ලැන් කේට්ටුවෙන් සිරුර වසාගෙන සිටියාය. සමහර අවස්ථාවල ඇය මහත් වෙහෙසක් දරා කොට්ටය යට තිබූ ඇගේ සටහන් පොත ගෙන යමක් සටහන් කළාය. ඇය මරණයට මුහුණ දුන් ධෛර්යමත් ආකාරය අසූ හැවිරිදි මහල්ලන්ගේ පවා ගෞරවයට භාජනය විය. නිරවුල් සිතුවිලි ඇති ශක්ති සම්පන්න අයකුට මිස වෙනත් අයකුට මෙලෙස ධෛර්යය උපදවා ගත නොහැකි බව ඔව්හු පැවසූහ. හැඬීම් විලාප හැම පැත්තෙන්ම ඇසිණ.
ජනේලයෙන් පිටත මීදුමෙන් වැසී ඇත. හිරු නැගෙන්නට ආසන්නය. මෙවැනි වේලාවට එර්කින්ගේ මව නිවසේ සහ කුස්සියේ වැඩවල නිරත වන්නීය. ඇය ඔහුට අමතන හඬ ඔහුට ඇසෙන්නාක් මෙන් විය.
එර්කින් රත්තරන් පුතේ. ඇවිත් උණු කිරි වීදුරුවක් බීල යන්න.
ඔහු වට පිට බලා ඔහුගේ නිල් පැහැති ඇඳුම් ඇඳ ගත්තේය. එහෙත් ඔහුට සොයා ගත හැකි වූයේ එක සපත්තුවක් පමණකි. තොප්පිය ගැන ඔහු සැලකිල්ලක් දැක්වූයේ නැත.
ආච්චි තවමත් ඇගේ වටිනා පැදුර මත තද නිද්දේ පසුවන්නීය. මුළු නිවසම තද නින්දේ පසුවෙයි. ඒර්කින් පමණක් අවදියෙන් සිටියි. ඔහු නිශ්ශබ්දව නිවසින් පිටවිය. අම්මා කුස්සියේවත් ඉස්තෝප්පුවේවත් නැත. ඔහු පඩි පෙළ බැස්සේය. මිදුලේ කිසිවකු නැත. උදෑසන සීතලේ ගැහෙමින් ඒර්කින් මල් පාත්ති වෙත ගියේය. ඔහු කළ යුත්තේ කුමක්දැයි දැන් ඔහු දනියි. ඔහු ලස්සන විශාල රතු රෝස මල් දෙකක් කඩාගෙන ගේට්ටුව වෙත ගියේය. ඔහුගේ එක කකුලක සපත්තුවකි. අනෙක් කකුලේ නිදන කාමරයේදී පාවිච්චි කළ සෙරෙප්පුව දමාගෙන ඇත. ඔහු පාරට බැස්සේය. ඔහුට අම්මා දැකීමට අවශ්‍ය විය. මුළු ලොවෙන්ම ඔහුට අවශ්‍ය එකම දෙය අම්මා දැකීමයි.
ඔහු රෝස මල් දෙක ප්‍රවේශමෙන් අල්ලාගෙන පටු පාර පසු කර ගොස් ප්‍රධාන පාරට අවතීර්ණ විය. විශාල මෝටර් රියකින් අම්මා ගෙන ගිය පාර ඔහුට මතකය. මුලින් මෝටර් රථ පාරක් දිගේ ගොස් ඊට පසු ට්‍රෑම් රථ යන පාරක් දිගේ ඇය ගෙන ගිය අයුරු ඔහුට සිහි විය. ඔහුට පාර හොඳින් මතකය. අවට කිසිවකු පෙනෙන්නට නැත. ගසක් යට වී සිටින බල්ලන් දෙදෙනකු එකිනෙකා ඉව කරති. උන් ඒර්කින්ව ගණන් ගත්තේ නැත. දිග කොස්සක් අතින් ගත් මිනිහෙක් ඉදිරියෙන් පැමිණෙනු දක්නට ලැබිණ. එහෙත් ඔහු ඒ අසල නිවසකට ඇතුළුවී නොපෙනී ගියේය. ට්‍රෑම් රථයක් දක්නට ලැබිණ. මෝටර් රියක් ඔහු පසු කරගෙන ගියේය.
එර්කින් යාම්තම් ඒ දෙස බැලුවේ ඔහුට වේගයෙන් ගමන් කළ නොහැකි එක කකුලක ඇති සෙරෙප්පුව ඔහුගේ ගමනට බාධා කරයි. අනෙක් කකුලේ ඇති සපත්තුවේද ලේස් ගැට ගසා නැත.
ට්‍රෑම් රථ යන පාර හරහා මාරු වූ ඒර්කින් ජලයෙන් පිරි පොකුණක් අසලට ගියේය. ඒ අසල මෝටර් රථ රැසක් දක්නට ලැබිණ. උදෑසනම රෝස මල අතින් රැගෙන යන කුඩා දරුවා පසුපස ගිය බොහෝ දෙනෙක් ඔහු දෙස විමතියෙන් බැලූහ. සමහරු හිස සැළුහ.
ඒර්කින් විශාල පාලමක් අසලට පැමිණියේය. බෑගයක් අතින් ගත් කණ්ණාඩි පැළඳ ගත් තැනැත්තෙක් ඔහු ඉදිරියට ආවේය.
“කොහෙද යන්නේ පුංචෝ.”
ඒර්කින් ඔහු දෙස බලා නිහඬ විය.
“ඔය ළමයා කාගෙද?”
“තාත්තගේ”
“මොකද මේ තට්ට තනියම”
ඔහු පිළිතුරු නොදුන්නේය.
සමහර විට මේ ළමයා ඒ අසල ඇති තට්ටු නිවාසයක ළමයකු වන්නට ඇත. මෙසේ සිතූ ඔහු නතර නොවී යන්නට ගියේය. ඒ අතර මහල්ලෙක් නතර වී ඒර්කින්ගෙන් ප්‍රශ්න කරන්නට පටන් ගත්තේය.
“මේ ළමයා කොහෙද යන්නේ”
ඒර්කින් පිළිතුරු නොදුන්නේය. ඔහු යන ගමනින් ඔවුනට ඇති වැඩය කුමක්ද? ඔහු කාර් යද්දී පාර හරහා මාරු වුණේ නැත. ට්‍රෑම් රථ යන පාර මැදින් යන්නේද නැත.
“ළමයා මෙහෙ එන්න තව මල් ටිකක් දෙන්නම්.”
“මා ළඟ මල් තියෙනවා. තමා අතවූ රෝස මල් පෙන්වමින් ඒර්කින් පැවැසුවේය.”
“මා ළඟ හුඟාක් හොඳ මල් තියෙනවා. මෙහෙ එන්න. මල් ටිකක් දෙන්නම්.”
ඒර්කින් නතර විය. මහල්ලා ළඟ ලස්සන මල් ඇත්නම් ඒවා ලබාගත යුතුය. අම්මාට හොඳම මල් රැගෙන යා යුතුය. ඔහු ආපසු මහල්ලා වෙත ආවේය.
ආ පුතේ මේවා ගන්න. මහල්ලා රතු රෝස මල් හා සුදු රෝස මල් දෙකක් ඒර්කින් අත තැබුවේය. මේ අතර ළමයාගෙන් ප්‍රශ්න කිරීමට ඔහු අමතක නොකළේය.
“පාන්දර කොහෙද යන්නේ පුතේ?”
“අම්මට බලන්න”
“අම්මා කොහෙද ඉන්නේ”
“අම්මා මැරිලා”
“ආ… එහෙමද?” මේ ළමයා පාන්දරින් නිවසින් පිටවීම පිටුපස කිසියම් රහසක් ඇති බව මහල්ලා ඒ වන විටත් අනුමාන කර තිබුණි.
පුතා උඹලගේ අම්මා හමුවෙන්න හුඟාක් දුර යන්න තියෙනවා. තනියම ගියාට උඹට අම්මට හම්බවෙන එකක් නැහැ. ගෙදර ගිහිල්ලා තාත්තත් එක්ක එන්න.
ඒර්කින් හිස සැලුවා පමණි.
“පුතා අතරමං වේවි”
“මං අම්මව සොයා ගෙන යනවා.”
කිසිවකු තමාගේ ගමන බලයෙන් නතර කරතැයි සිතූ ඒර්කින් වේගයෙන් ගමන් කොට නොපෙනී ගියේය. විශාල ජනකාය මැදින් ගමන් කළ ඔහු පිළිබඳව කීපදෙනකුගේ අවධානය යොමුවූ අතර ඔහු සැලකිය යුතු දුර ගමන් කළේය.
ඔහු පොකුණක් අසලට ආවේය. ජලය අහසට විදින ආකාරය දෙස ඔහු බලා සිටියේය. ඒ අසල පරෙවියෝ රැස්ව සිටිති.
නැවත ඔහු සෙනඟ අතරට එක්විය. ඔහුට හමුවන සෑම කාන්තාවක් දෙසම ඔහු විමසිල්ලෙන් බැලුවේය. මේ එක් කෙනෙක් තමාගේ අම්මා නම්? ඒත් එසේ නොවීය. අම්මාව දකින්න නොලැබුණු බැවින් ඔහු දිගටම ගියේය.
ඔහු කඩ සාප්පු ඇති ප්‍රදේශයට පැමිණීයේය. සාප්පුවල වීදුරුවලින් කිරි බෝතල් තබා ඇති අයුරු පෙනේ. ඔහුට බඩගිනිත් ඇති විය. ඔහු සාප්පුව තුළට ගොස් කවුන්ටරය අසල සිට ගත්තේය.
ඔහු සුදු කබායකින් සැරසුණු මහත කාන්තාවක් දෙස බලාගත්වනම සිටියේය. ඇගේ අත් දුවනවා මෙන් වැඩ කරයි. කේජු කැපීම, කිරි බෝතල් ගැනීම සහ ඒවා විකිණීම සඳහා ඈ වෙහෙස වන්නීය.
කොතෙක් වැඩ තිබුණ ද පිරිමි ළමයා කෑදර ලෙස තමා දෙස බලා සිටිනු ඇය දුටුවාය. ඔහු සමහර විට අම්මා හෝ ආච්චි සමග එන්නට ඇත. ඔවුන් බඩු ගන්නවා ඇතැයි ඇය සිතුවාය. එහෙත් ළමයා බොහෝ වේලාවක් එතැන රැඳී සිටියේය. ඔහු දෙමාපියන්ගෙන් මග හැරීවත්ද? ඇය සෙනඟ අතරින් ළමයා වෙත ගියේය.
“මොකද පුතා මෙතන කරන්නේ”
ඒර්කින් පිළිතුරු නොදුන්නේය. ඔහුගේ ඇස් කේජු බටර් සහ කිරි බෝතල් වෙත යොමුවී ඇත. ළමයා මනාව හැඳ පැළඳ නැති බවත් ශීතලෙන් සිටින බවත් ඇයට පෙනිණ.
“කාත් එක්කද ආවේ? අම්මා එක්කද? තාත්තා එක්කද? අතරමං වුණාද?
ඒර්කින් හිස සැලුවේය.
“බබාට මොනවද ඕනේ?”
“මොකුත් එපා”
ඇය කේජු කෑල්ලක් කපා කිරි වීදුරුවක් වත් කර ඔහුට දුන්නේය. සමහර විට එය ඇගේ උදේ ආහාරයෙන් කොටසක් වන්නට ඇත.
ඒර්කින් එක හුස්මට කිරි වීදුරුව බී කේජු කෑල්ල ගිල දමා කරුණාවන්ත කාන්තාව දෙස බලා මුව පුරා සිනාසී දොර දෙසට ගියේය. ඔහුට අපතේ යැවීමට කාලය ඉතිරි වී නැත. තව දුර යෑමට ඇත. එම නිසා ඔහු ඉදිරියට ගියේය.
ඔහු තවත් පාලමක් පසු කොට ගොස් ට්‍රෑම් රථ හා ට්‍රොලි බස් මාරු වන ස්ථානයට පැමිණියේය. ඔහුගේ බඩගින්න දැන් නිවී ඇතත් කකුල් වෙහෙසට පත්ව ඇත. ඔහු පදික වේදිකාවේ අසල වූ බංකුවක් වෙතට ගොස් වාඩි ගත්තේය.
ඔහු බංකුවට හේත්තු විය. මෝටර් රථ එහාටත් මෙහාටත් කලබලයෙන් දිව්වේය. මිනිස්සු එහෙ මෙහෙ ගියහ. ටික වේලාවක් ගත වන විට ළමයාගේ හිස පහතට වැටී තිබුණි. ඔහු නින්දට වැටී ඇත. කාර්වල සද්ද ඔහුට බාධාවක් නොවීය. නින්දේ සිටියත් ඔහු රෝස මල් තදින් අල්ලාගෙන සිටියි. ටික වේලාවකට පසු ඔහු බංකුව මත දිගා විය. එහෙත් මල් අත හැරියේ නැත.
එතැන පසුකර ගෙන ගිය අය ළමයා බංකුවක් මත නිදා සිටින අයුරු මවිතයෙන් බැලූහ. කීපදෙනෙක් නතර වූහ. ළමයා අසනීපයෙන්ද එහෙත් අසනීප ළමයාට මෙතරම් හොඳින් හුස්ම ගත නොහැක.
ඒ ප්‍රදේශයේ රාජකාරි කළ උඩු රැවුලකින් හා කරුණාවන්ත පෙනුමකින් යුත් පොලිස් නිලධාරියකු මීළඟට ඔහු අසලට පැමිණියේය. ඔහු කළ යුතු දේ ගැන මොහොතක් කල්පනා කර ළමයා අසලින් වාඩිවිය. ඔහු බොහෝ වේලාවක් ළමයාගේ නින්දට රැකවල් කරන්නාක් මෙන් ඒ අසල සිටියේය. පාර පවිත්‍ර කරන යන්ත්‍රයේ සද්දයත් සමගම ඒර්කින් අවදි විය. ඔහු ඇස් විවෘත කර හිස ඔසවා බලන විට පොලිස් භටයා දක්නට ලැබිණ.
“කොහොමද පුතා?”
“පුතා අතරමං වුණාද? පුතාගේ අන්තිම නම මොකක්ද?”
කිව යුත්තේ කුමක්දැයි නොදත් ඒර්කින් නිහඬ විය.
“මම බබාව ගෙදර එක්ක යන්නද? බබා කොහෙද ඉන්නේ?”
“අරහෙ”
ළමයා තමන් පැමිණී දෙසට අත දිගු කර පෙන්නුවේය.
“මාත් එක්ක යන්න එන්න. මම බබාව එක්ක යන්නන්”
“නැහැ මං අම්මා බලන්න යනවා.”
“අම්මා කොහෙද ඉන්නේ”
“අම්මා මැරිලා”
ඔහුට සියල්ල වැටහිණ. ක්‍රියා කළ යුත්තේ කෙසේ දැයි මොහාතක් කල්පනා කළ ඔහු දෙතොල් තද කරගෙන ළමයා දෙසට හැරිණ.
“අපි දෙන්නාම බබාගේ අම්මා බලන්න යමු. මාත් යන්නේ ඒ පැත්තට. බබා වගේ ළමයෙක් මටත් ඉන්නවා.
පොලිස් නිලධාරියාගේ කාරුණික භාවය ගැන ලියැවුණ ගීතයක් ඒර්කින්ට මතක් විය. ඔහු අසුණින් නැගිට පොලිස් භටයාගේ අත අල්ලා ගත්තේය. ඔහු දිගටම ගමන් කළහ. උස පොලිස් භටයෙක් හතර හැවිරිදි පුංචි ළමයෙක්, පුංචි ළමයා දැඩි වෙහෙසට පත්වී ඇත. ඔහු කෙතරම් වෙහෙසට පත්ව සිටියේද යත් ඔහුට පයින් යා නොහැකි විය. පොලිස් භටයා ළමයා වඩා ගත්තේය.
මිනිත්තු 15 කට පසු ඔහු පොලිස් කාර්යාලය වෙත පැමිණියහ. ඒ අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියා දොර විවෘත කරගෙන ඉදිරියට දිව ආවේය.
“කොහෙදි ද හම්බවුණේ?” එයාගේ තාත්තා ළමයාව හොයාගෙන මුළු නගරයම පෙරළනවා. එයාට බාගෙට පිස්සු වගේ පුතාගේ නම මොකක්ද? ඒර්කින්ද?”
ඒර්කින් හිස සැලුවේය.
මම දුරකථන පණිවුඩයක් දෙන්නම්. එතකොට බබාගේ තාත්තාට සැනසිල්ලක් වේවි.
“පැය භාගයකට පමණ පසු මෝටර් රථයකින් පැමිණ ඒර්කින්ගේ පියා දුවගෙනවිත් පුතාව වඩා ගත්තේය. තාත්තා අපි යං. අම්මා අපි එනකං බලා ඉන්නවා.
“ඔව් පුතේ අපි යං අපි දැන්ම යං! යැයි පැවැසූ ඔහු අනෙක් අය දෙසට හැරුණි.”
මගේ නෑදෑයෝ වගයක් එන නිසා පාන්දරින්ම මට ගුවන්තොටුපළට යන්න සිද්ධ වුණා. පුතාව ආච්චි ළඟ දාලයි ගියේ. මට සමාවෙන්න.”
අඩක් සිහි විකල්ව ගොස් සිටි ආච්චි සැනසීමට ඔහු වහා මෝටර් රිය පදවා ගෙන ගෙදර ගියේය. අම්මා බැලීමට යෑමට සූදානම් වන ලෙස ඔහු ඒර්කින්ට පැවැසුවේය. ඒර්කින් නැවත වරක් පිරිසුදු කබායකින් සැරසුණි. මිදුලේ නවතා තිබූ මෝටර් රියට මුලින්ම නැග්ගේ ඔහුය. මේ දෙස බලා සිටි ඒර්කින්ගේ පියා වහා නාන කාමරයට ගොස් මුහුණ සෝදා ගත්තේය. තමාගේ ඇස්වල සබන් තැවරුණ බව ඔහු ආච්චිටත් ඒර්කින්ටත් පැවැසුවේය. අවසානයේ ඔවුහු විශාල මල් මිටියක් රැගෙන පිටත් වූහ.
පියා සහ පුතා අලුත් පස් ගොඩක් මත මල් තැබූහ. ඒර්කින් අලුත් පස් ගොඩ දෙස බැලුවේය. ඒ පස් යටද අම්මා ඉන්නේ? අම්මාට අලුත් සිල්ක් ඇඳුම් අන්දවා වැලලුවේ ඇයි? ඇඳුම්වල දූවිලි ස්වල්පයක් ගෑවුණත් අම්මා එය පිරිසිදු කරයි. ඇය දැන් පස් ගොඩක් යට සිටියි. අම්මාගේ ලස්සන මූණ රත්රන් කරාබු පස් යට කර ඇත්තේ ඇයි?
“ඒර්කින්ට හිස් බවක් දැනින.
“අම්මා එළියට එන්නේ නැද්ද?”
ඔහු හදිසියේම විමසුවේය.
“නැහැ” ඔහුගේ පියා අකමැත්තෙන් පිළිතුරු දුන්නේය.
පියා සහ පුතා කනත්ත අතහැර ආපසු ගෙදර පැමිණියහ. දින කීපයකට පසු ඒර්කින්ට අසනීප විය. ඔහුට දරුණු උණක් ගැනිණ. අම්මා කියා අඬවමින් ඔහු තමා වෙත පැමිණෙන හැම කෙනෙක්ම පිළිගත්තේය. ඔහු තාමත් රතු රෝසමල් දෙකක් රැගෙන අම්මා වෙත යෑමට සූදානම් වෙයි.
මියන්මාර් ජාතික කිං හින් යූ Khin Hnin Yu ගේ
Body and Sense කෙටි කතාව ඇසුරෙනි
දෙවියන්ට ස්තුති කළ යුතුද නැතහොත් ඇයගේ ඉරණමට ස්තුති කළ යුතුද යන්න ගැන කිසිම අදහසක් ස්වේ සින් හට නොතිබුණි. නමුත් මෙම නිවසට පැමිණෙන අවස්ථාවේදීම තමාගේ වාසනාව යහපත් අතට හැරී ඇති බව ඇයට හැඟී ගියාය.
එහි හිමිකරු වූයේ ලියු මහතා ය. ස්වේ සින් සෑම කාමරයකටම ගිය අතර මුළු නිවස පුරාම ප්‍රසන්න සුවඳක් දැනුණි. ඒ සෑම කාමරයකම තිබෙන කුඩා මල් බඳුන් නිසාද නැතිනම් සුවඳ දුම් නිසා දැයි ඇයට සිතාගත නොහැකි විය. සුවඳ නිසා නැවුම් සතුටක් ඇයට දැනුණි.
ලියු මහතාගේ කාමරයේ අතුරා තිබුණු විල්ලුද බුමුතුරුණු, ඇයගේ යටි පතුල්වලට ඉතා සුවපහසුවක් ගෙනාවේය. ස්වේ සින් තම දෙපා මෘදු ලෙස අතුල්ලමින් ඒ මත ඇවිද ගියා ය. පාණ්ඩු කහ පැහැය වටේ බිත්ති මත ආලේපකර තිබුණි. ස්වේ සින් සිතුවේ තමා එහි හිමිකාරිය නම් බිත්ති මත පරෙවියන්ගේ බිත්තරවල වර්ණය පින්තාරු කරනු ඇති බවයි. විදුලි පහන් ලා නිල් පාට වූයේ නම් කාමරය කෙතරම් සුන්දරදැයි ඈ සිතුවාය.! නමුත් නිවැසියන් ඔවුන් රෝස සහ කහ පැහැය බහුලව භාවිතා කර තිබුණි.
බිත්ති මත ඇලවූ මල් රෝසපැහැ ගත් අතර විදුලි ආලෝකයෙන් කාමර බැබළුණි. කෑම මේසය ඉදිරිපස වූ වීදුරු අල්මාරියෙන් මිදි සහ ඇපල් ගෙඩිවල සුවඳ පැතිරුණි. ඈ මේ නිවසේ සේවිකාවක් වූ නමුත් අනෙක් සියලුම සේවකයන් අතර පහසුම රාජකාරිය ඇයට පවරා තිබුණි. ඔවුන් ආහාර ගන්නා අවස්ථාවන්හිදී ඇය ලියු මහතා අසල වාඩිවී ඉතා කලාතුරකින් පැමිණෙන මැස්සෙක් දෙන්නෙක් වටාපතෙන් පළවා හැරියාය. ආහාර වේලෙන් පසු ලියු මහත්මියට අත් සේදීම සඳහා ජල බඳුනට කොලෝන් බින්දු කිහිපයක් වත් කිරීමට ද ස්වේ සින් හට පැවරී තිබුණි.
සවස් යාමයේ වීදුරු බඳුනක සිසිල් කළ ස්ට්‍රෝබෙරි සහ ක්‍රීම් දමා නිවස පසුපස උයනේ උණ ලී පුටු මත හිඳගෙන සිටින ලියු මහතා හා මහත්මිය වෙත ගෙන යෑමට ස්වේ සින්හට සිදු විය. ඉනියා විල මතින් එන සිසිල් සුළඟ නැවුම් බවක් ඉසිලී ය. ඈ උද්‍යාන මේසය මත බන්දේසිය තබා හැන්දකින් ස්ට්‍රෝබෙරි සහ ක්‍රීම් රැගෙන කුඩා භාජන දෙකට දැමුවා ය. මේ සියලුම කටයුතු ස්වේ සින්හට පුදුම එළවන සුළුය. ඔවුන්ගේ ජීවිත කොතරම් ප්‍රසන්නද?, කොතරම් සැහැල්ලුද?, බොහෝ දිනයන්හි ඈ කල්පනා කළා ය.
වැව දෙසට පිටුපසින් ඉදිකර ඇති මෙම නිවස හිරු බැස යනවිට දීප්තිමත් පෙනුමක් ඉසිලී ය. උද්‍යානයේ තණකොළ පෙරදින කපා තිබූ බැවින් ඒවා ලා කොළ පැහැයෙන් දිස්විය. තණ බිම මත ඇයගේ විවෘත දෙපා ස්පර්ශ වන විටදී ඒවා කොතරම් මෘදු දැයි ඇය තමාටම පවසා ගත්තා ය. ස්වේ සින් විල දෙස බැලුවා ය. නිල් ජලතලය මතින් ඉවුරට කිට්ටුව සුදු රුවල් ඔරු සෙමින් ඇදී ගියේ ය. සමහර අවස්ථාවලදී හිරු එළිය රළ මත වැටී නැගෙන දියරැළි අතරින් දියමන්ති කැට දිස්වන බවක් පෙණුනි. දෑස් පියාගත් ඈ මොහොතක් ඒ සතුට භුක්ති වින්දා ය.
සෑම උදෑසනකම ස්වේ සින්ට ඕට්ස් කැඳ සහ උණුසුම් කිරි රැගෙන ලියු මහතාගේ නිදන කාමරය වෙත යෑමට සිදුවිය. බටහිරකරණය වූ යුවළ නිදාගත්තේ කාමර දෙකක ය. වෙහෙස මහන්සිවී වැඩ නොකර, පිළිවෙළට, වෙලාවට කා බී හොඳට ඇඳපැළඳ සිටීම ලියු මහත්මිගේ දින චරියාව විය. ඈ කැඳ බඳුන මේසය මත තබා ලියු මහතාගේ නිදන කාමරයේ ප්‍රංශ කවුළු විවෘත කිරීමට ගියා ය. විලෙහි සිසිල් සුළඟ උදෑසනම ජනේලයෙන් කාමරය තුළට හමා ආවේ ය.
“මොනතරම් පිරිසිදු සිසිල් සුළඟක් ද!” ලියු මහතා පැවසුවේ ය.
කාලයත් සමග වැඩුණු ස්වේ සින් ගේ සුන්දරත්වය ඉන් තවතවත් දිස්විය. ඇය බැල්කනියේ කෙළවරට ගොස් පහළ බැලුවා ය. රෝස මල්! කොතරම් සුන්දර ද! ඇය දුටුවේ රෝස මල් ඇතිරිල්ලකි.
නිවස හා උද්‍යානය ඉදිකිරීම සඳහා විශාල මුදලක් මෙන්ම දිගු කාලයක් වැය වූ බව ලියු මහත්මිය වරක් ඇයට පවසා තිබුණි.
“අනේ …මට මේ ගෙදර අයිති නම්..!” ඈ මිමිණුවා ය.
ඇයගේ සිත තුළ වූ ආශාව වැඩිවන විටදී. ලියු මහත්මිය කෙරෙහි ඊර්ෂ්‍යාවක් ඇති විය. කිසිවිටෙකත් නිවසෙන් බැහැරවීමට සිදුනොවේවායි ප්‍රාර්ථනා කළ ඈ, නැවත කාමරය දෙසට හැරී බැලූ විට ලියු මහතා කැඳ බොමින් සිටිනු දුටුවා ය. ස්වේ සින් මේසය අසලට ඇවිද ගොස් සුපුරුදු පරිදි බලා සිටියේ බඳුන ආපසු රැගෙන යෑම සඳහා ය. උදෑසන නැවුම් හිරු එළිය කහ බිත්ති දීප්තිමත් කළේ ය. ලියු මහතා හිස ඔසවා ස්වේ සින් දෙස බැලී ය.
“ඔයාගේ කම්මුල් රෝස මල් වගේම යි…” ඔහු පැවසී ය.
ස්වේ සින් ට සිනහසෙනවාද නැද්ද යන්න ගැන කිසිම අදහසක් නොතිබුණි. ඇය වදන්වලට සවන් දුන්නා පමණි. ලියු මහතා තම පුටුවෙන් නැගිටවිත් ඇයගේ නිකට ඔහුගේ අතින් අල්වා ගත්තේ ය. ඉන්පසු ඔහු ඇයගේ කම්මුල මෘදු ලෙස සිපගත්තේ ය. ඇයගේ හදවත ගැහෙන්නට විය. නිසොල්මන්ව සිටි ඇයගේ දෙඅත් වෙව්ලුවේ ය.
“මම යන..යන.. වා…ආයි…” ඇයට වචන පැකිලිණි. හිස් කැඳ බඳුන රැගෙන ක්ෂණයෙන් ඈ කාමරයෙන් පිටව ගියා ය.
තමාට කුමක් සිදුවේදැයි ඈ සිතුවා ය. ඇයට සදහටම මෙම නිවසේ රැඳී සිටිය හැකි නම් ඇය ලියු මහතාගේ කැමැත්තට ඉඩදිය යුතු වේ. දින කිහිපයක සිට ලියු මහතා ලියු මහත්මිය සමග රාත්‍රියේ උද්‍යානයේ ඇවිද යෑම නවතා දැමූ අතර නිවසේ නැවතී රැඳී සිටීමට පටන් ගත්තේ ය. ඔහුට ස්වේ සින් සමග දොඩමළුවීම තරම් සතුටට කරුණක් නොතිබුණි. එහි ප්‍රතිඵලය වූයේ ඇය ඉක්මනින් ගැබ්ගෙන ඇති බව ලියු මහතා වටහා ගැනීම ය. එය දැනගත් ස්වේ සින් තමා ගැන කනගාටු නොවී ය. ඇය අනාගතය ගැන කරදර නොවූවා ය. ඇයට වේදනාවක් ගෙන ආවේ ලියු මහතා දරු ප්‍රසූතිය සඳහා නිවසින් පිටව යන ලෙස ඉල්ලා සිටිමින් ස්වේ සින්හට විශාල මුදලක් ලබා දෙන අවස්ථාවේදී ය. නිවසින් පිටව යෑම ඇයට ඉතා වේදනාකාරී දෙයක් වුණි.
ස්වේ සින් ඇයගේ සිහින් ඉණ වසාගෙන බොහෝ දුර බැහැරකට ගියා ය. ඇයට විවාහයක් කරදීමට ඔවුන් වෙත පැමිණෙන ලෙස දෙමව්පියන් ස්වේ සින්හට දන්වා ඇති බව චචචචලියු මහත්මිය හට ඔහු පවසා සිටියේය. එය ඇයගේ කතාව විය. නිවස ගැන සිහින දකින සෑම අවස්ථාවකම ඈ සිතෙන් හැඬුවා ය. කලකට පසු, එම පුවත ඇසූ ලියු මහතා ඇය සොයාගෙන පැමිණියේ ය. ඇය පිරිමි දරුවකුගේ මවක වූවා ය. ඔහු මව සහ දරුවා තම නිවසට කැටුව ගොස් ලියු මහත්මිය අමතා මෙසේ පැවසීය;
“ස්වේ සින්ගේ මහත්තයා මැරිලා. අපි මේ ළමයව හදාවඩා ගත්තොත් නරකද?”
දරුවා ගැන ඔහුගේ පියා එතරම් සාධාරණ විය. දරුවා කෙරෙහි ලියු මහත්මියගේ සිත තුළ සෙනෙහස මෝදු වුණි. දරුවන් නොමැති වූ ඈ, හදාවඩා ගන්නට පුතකු ලැබීම පිළිබඳව සතුටු වූවා ය.
“අපි දරුවව නීත්‍යානුකූලව දරුකමට හදා ගනිමු. ස්වේ සින් මෙහෙ හිටියොත් නම් දරුවා එයාට කැමති වෙයි. එයත් ආදරය කරයි. ඒ හින්දා එයාට මෙහෙ ඉන්න දෙන්න බැහැ.” ලියු මහත්මිය රහසින් තම සැමියා වෙත පැවසුවා ය.
මේ වතාවේ නැවතත් ඇය නිවසින් පිටව ගියේ තම පුතා වෙනුවෙනි. ස්වේ සින්හට නිරන්තරයෙන්ම දැනුණු නොසන්සුන් බව වසර ගණනාවක් පුරා පැවතිණ. කාලය වේගයෙන් ගෙවී ගියේ ය. ගෙවී ගිය සෘතු ඇයට වැටහුණේ නැත. පිනි වැටෙන හෝ අඳුරු වැසි වැටෙන දින ගැන කිසිදු හැඟීමක් දැනුණේ ද නැත. ඇයගේ සතුට රැඳුණේ නිවස හා තම පුතා කෙරෙහි ය. හදවතින්ම ආදරය කළ දෙදෙනාගෙන් ඈත්වී සිටීම පිළිබඳව හැර වෙනත් කිසිවක් ඇයට නොදැනුණේ ය.
ඇයගේ දෑස තවදුරටත් බැබළුණේ නැත. කොණ්ඩය සුදු පැහැවී ඇත. එක් ගිම්හාන දිනක ඇයගේ පුතා සමග ලියු මහතා, ස්වේ සින් වෙත පැමිණියේ ය. ඈ තම පුතා දෙස බොහෝ වේලාවක් බලා සිට එක්වරම ඔහුව සිප ගත්තා ය. ඇයගේ දෑස්වලින් වැගිරෙන කඳුළු හේතුවෙන් ඔහුව පැහැදිලිව දැකගත නොහැකි විය. ළමයා යෞවනයකු දක්වා වැඩී සිටියේ ය.
“ඉතින් ඔයාට මාව මතකද පුතේ…?” ඈ තම පුතා දෑතින් බදාගෙන හඬමින් විමසුවා ය.
කහ පැහැ ගත් ඇයගේ දෑත් රැළි ගැසී තිබුණි. සමට යටින්, නිල් පැහැති නහර පණුවන් මෙන් ඉපිලී දිස්විය.
“මං එයාට අපි ගැන කිව්වා…” ලියු මහතා පැවසී ය.
“මගේ නෝන මැරුණා..”
“මොකක්” ඈ ලියු මහතා දෙස බැලුවා ය.
ඔහුට මුලින්ම ඇස ගැටුණේ ඇයගේ ගිලී ගිය කම්මුල් ය. ලියු මහතා ද වයසට ගොස් තිබූ නමුත් ඔහුගේ ජීවගුණය නැති වූ බවක් නොපෙනුණි.
“අම්මේ… අපි ආවේ ඔයාව එක්කගෙන යන්න. මට ඉනියා විල ළඟ තියෙන ගේ උරුම වුණා… අම්මේ…” ඇයගේ පුතා මහත් උද්දාමයෙන් ඈ වෙත පැවසුවේ ය.
“ඒ…ගෙදර..?”
එම වචනය ඇසූ අවස්ථාවේ ඇයගේ දෑස් එක්වරම විසල්වී බැබළුණි. ඈ සිනාසීමට උත්සාහ කළ නමුත් ඒ සිනහව තවදුරටත් ලස්සන නොවී ය. ඔවුන් ඇයව ආපසු රැගෙන ගිය අතර මෙවර ඈ ගෙට ඇතුළු වූයේ සේවිකාවක ලෙස නොවේ. ලියු මහතා ඇයට පඩිපෙළ නැඟීමට උදව් කළේ ය. ස්වේ සින් සෙමෙන් සෙමෙන් පඩි නඟින විට බිත්ති දෙස බැලූ නමුත් වර්ණය හඳුනාගැනීමට අපහසු විය. ලියු මහතාගේ කාමරය තුළ ඇයට ඇඳක් සකසා තිබුණි. දෙපා මාරුකරමින් බුමුතුරුණුවල මෘදු බව ස්පර්ශ කිරීමට උත්සාහ කළ මුත් ඇයට කිසිවක් දැනුණේ නැත. ඒ ගැන ඈ පුදුම වූවා ය. ඈ නැවතත් තම දෙපා අතුල්ලාගෙන යෑමට උත්සාහ කළා ය.
“මගේ කකුල් හිරිවැටිලද…?”
ඇඳ මත හිඳගෙනම ඈ කාමරය සිසාරා බැලුවා ය. බිත්ති තවමත් කහ පැහැයෙන් යුක්ත වූ අතර විදුලි පහන් රෝස පැහැයෙන් යුක්ත විය. ආලෝකයේ දීප්තියෙන් සැබැවින්ම එම වර්ණ හඳුනාගත්තේ දැයි ඇයට නොතේරුණි.
“අම්මේ… මිදි හරි ස්ට්‍රෝබෙරි හරි ඔයාට දෙන්නද…?” ඇගේ පුතා මුදු මොළොක් ලෙස ඇසී ය.
ඇය උත්සාහ කළේ තමා තරුණ වියේ දී වීදුරු බඳුන්වල දමා රතු පාට සිසිල් ස්ට්‍රෝබෙරි බෙදා දුන් අයුරු මතකයට නඟා ගැනීමට ය.
“ස්ට්‍රෝබෙරි…” ඈ මිමිණුවා ය.
පුතා වීදුරු බඳුනකට ක්‍රීම් ටිකක් රැගෙනවිත්, “මෙන්න… අම්මේ….” යැයි කියමින් ක්‍රීම් තැවරූ ස්ට්‍රෝබෙරි ඇයගේ කටට දැමුවේ ය.
ඇය සෙමෙන් සෙමෙන් රස බැලුවා ය. එය තරමක් ඇඹුල් හා කටුක විය. ඇයගේ සිතට කිසියම් පීඩාවක් දැනුණි. ඈ කොට්ටය මත හිස තබා දෑස් පියා ගත්තා ය. මේසය මත ඇති බඳුනේ රෝස මල් සුවඳ විසුරුණි. ඇයගේ ඇඳ අසලින් මිදි සුවඳ පැතිරුණි. නමුත් ස්වේ සින්හට කිසිවක්ම දැනුණේ නැත.
ඈ, සිය ජීවිතයේ මිහිරි මතකයන් පිළිබඳව මෙනෙහි කරන්නට තැත්කළා ය. නමුත් ඇයට කිසිවක් පිළිබඳව යළි මතකය අවදිකරගත නොහැකි විය. ඇයගේ සිතුවිලි ඈතට ගසාගෙන ගොස් අතුරුදන් විය. ඇයට සෑම දිනකම සිල්ක් ලුංගියක් ඇඳීමට හැකිවිය. එහෙත් ඇවිද යන්නට හැකියාවක් තිබුණේ නැත. ඒ ඇඳුමෙන් සැරසුණ ඇයගේ සිහින් ඇඟ ලියු මහතාගේ පැරණි ඇඳ මත නිදිවැරී ය. ඇය ගැහැණියක මෙන් පෙනෙන්නේ ස්වේ සින් පැළඳ සිටි ඇඳුම් නිසා පමණකි. එසේ නොවීනම් ඇය ඇටසැකිල්ලක් මෙන් දිස්වනු ඇත.
තරුණ සේවිකාව පැමිණියේ ඇයට බෙහෙත් ලබාදීමට ය. අසීරුවෙන් ඈ බැල්කනිය කෙළවරට ගොස් විල දෙස බලා සිටියාය. සෞම්‍ය ජලතලය එදා මෙන් මරකත වර්ණයෙන් දිස් විය. රුවල් බෝට්ටු සෙමෙන් පාවී ගියේ ය. අඩවන්වූ දෑසින් ඈ ඇඳ අසලට පැමිණියා ය. ස්වේ සින්ගේ ලුංගිය ඇයගේ ඉණෙන් ලිස්සා ගොස් ඇති අයුරු දුටු සේවිකාව එය ඉනට ඉහළින් සිටින පරිදි යළි පැළඳුවා ය.
“මොන උකුළක්ද…මේ…!” තමාටම පවසා ගනිමින් සේවිකාව සිනාසුණාය.
විවර වූ කවුළුව හරහා මෘදු සුළඟ හමා ආවේ ය. නිවස සුපුරුදු තේජසින් යුක්ත විය. ඇයගේ හැඟීම්වලට කුමක්වීද.? එහි පහස භුක්ති විඳීමට ස්වේ සින් හට අවස්ථාවක් උදා නොවුණි.
(කිං හින් යූ Khin Hnin Yu දෙවරක්ම මියන්මාර් ජාතික සාහිත්‍ය සම්මානය ලැබූ ලේඛිකාවකි. ඇය මියන්මාර් කාන්තා ලේඛිකාවන් අතර වඩාත් බලගතු චරිතයක් ලෙස සැලකේ. දෙවන ලෝක යුද්ධයෙන් පසු මියන්මාර ජනතාවගේ ජීවන තත්ත්වයන් සැබෑ ලෙසම තම කෘති තුළින් නිරූපණය කිරීම පිළිබඳව ඈ ප්‍රසිද්ධියට පත් වූවාය. 1925 සැප්තැම්බර් 07 දින මියන්මාරයේ උපත ලද මෙම ලේඛිකාව විසින් ප්‍රකාශිත නවකතා ගණන 50 කට අධිකය. ඒ බහුතරයකම පාහේ දිවෙන හුය එරට ජනතාවගේ පැවැත්ම සඳහා අරගල කළ තරුණ වීරවරියන් සම්බන්ධිත වේ. කිං හින් යූ Khin Hnin Yu වසර 20 කට වැඩි කාලයක් මියන්මාරයේ අගමැති ධුරය හෙබවූවකු ගේ ඥාති සහෝදරියකි. වසර 78 ආයු වළඳා, 2003 ජනවාරි 21 දින දී ඈ මියගියේය.)
https://divaina.lk/%e0%b6%92-%e0%b6%87%e0%b6%ba%e0%b6%b8-%e0%b7%80%e0%b7%92%e0%b6%ba/
හය හැවිරිදි මල්ලි තුරුළුකරගෙන මම එදා රෑ මගේ ඇඳේ වැතිරී නිහඬව හැඬුවෙමි. රාත්‍රියේ නැගිටගත් මල්ලී ඇඳේ වාඩිවී, “අක්කේ ! අම්මා මැරිල ද?” මගෙන් අසා සිටියේ ය.
“නැහැ! අම්මා මැරිලා නැහැ.” එසැණින්ම මම පවසා සිටියෙමි.
ඈ සිටියේ නගරයේය. ඇය නැවත පැමිණෙනු ඇත. එදා රෑ තාත්තා බීමතින් හැඬුවේය. එදා සිට සෑම දිනකම තාත්තා රෑට රෑට මත්පැන් බොන්නට පටන් ගත්තේය. බීමතින් ගෙදර බිම වැතිරී නිදා ගත්තේය. මට ඔහුව ඇඳ මතට ඔසවා තබන්නට හැකිවූයේ නැත. මම තාත්තාව බ්ලැන්කට්ටුවකින් ආවරණය කර ඔහු හඬන දෙස බලා සිටියෙමි. ගෙදර මත්පැන් නොමැති දිනවල, රෑට ඔහු තැබෑරුම වෙත ගියේය.
එවැනි රැයකදී මම, ඔහු එනතුරු පහනක් දල්වා බලාගෙන සිටියෙමි. දවසක් දා රෑ තාත්තා පොළේ කූඩාරමක නිදාගෙන තිබුණි. එම වසරේම මට පාසලෙන් ඉවත්වීමට ද සිදු විය. දවස මුළුල්ලේම මට තාත්තාගේ හා මල්ලිගේ රෙදි සේදීමටත්, ඔවුන්ට කෑම උයන්නටත් සිදුවුණි. තාත්තා දවස පුරා වැඩ කළේය. රෑට ගෙදර ආ විට, ඔහු හිස පහත් කරගෙන ඉක්මනින් රෑ කෑම කෑවේය. තාත්තා කවදාවත් මල්ලි හෝ මා සමග කතා කළේ නැති තරම්ය.
දිනක් තාත්තා මත්පැන් පානය කරන ආකාරය දුටු මට තවත් ඉවසා සිටීමට නොහැකි විය. මම තාත්තාගේ අතින් බෝතලය උදුරාගෙන කෑගැසුවෙමි; “තාත්තේ, ඔයාට බොන්න බැහැ. ඔයාට බොන්න දෙන්න බැහැ තාත්තේ….” තාත්තා දෑස් විශාල කර මගේ මුහුණ දිහා බලා ගෙන කෑගැසීය;
“උඹ මගේ ජීවිතේ විනාශ කළා… දැන්… උඹ මට බොන්න තහනම් කරනවද?…”
තාත්තා නැගිටවිත් ළඟ තිබුණු කොස්ස ගෙන මට පහර දුන්නේය. ඒ අවස්ථාවේ මට ඔහු වෙතින් පලා යන්නට බැරි වුණි. තාත්තා හඬමින් සිටින බව මට දැනුණි. මම දත්මිටි කාගෙන බිම දණ ගසා; “තාත්තේ ගහන්න” යැයි පැවසුවෙමි.
රෑ බෝ වන විට තාත්තා බීමතින් තද නින්දට වැටී සිටියේය. මම නිහඬවම කැඩී බිඳී ගිය වීදුරු කැබලි එක්රැස් කළෙමි. එදින රෑ, මගේ පවුලේ අය සතුටින් කාලය ගතකරන අයුරු මම සිහිනෙන් දුටුවෙමි. ඒ උණුසුම් රාත්‍රී භෝජන අවස්ථාවකි. මට සහ තාත්තාට කෑම බෙදුවේ අම්මා විසිනි. අම්මා නගරයේ සිට ආපසු එන ආකාරය මම දුටුවෙමි. තාත්තා ඇයව පිළිගැනීමට ඉදිරියට ගියේය. ඉන් පසුව තාත්තාගේ පපුව මත මුහුණ ඔබාගෙන අම්මා දිගටම හැඬුවාය. මම අම්මාට කතා කරන අවස්ථාවේම මට ඇහැරුණි. නිවස අඳුර තුළ ගිලී තිබුණි. මට ඇසුණේ තාත්තා නින්දෙන් ගොරවන හඬ පමණි.
පසුදා හවස, මම නිවසේ වැඩකටයුතු නිමකර මේසය අසලින් වාඩි වූයෙමි. මගේ අතේ තැළීම් දුටු තාත්තා මට කතා කරමින්;
“ඔයාගේ අතට මොකද වුණේ?.” යැයි විමසුවේය.
ඒ අවස්ථාවේ මට මා ගැන ම විශාල දුකක් ඇති වුණි. මට කඳුළු සලමින් මහ හඬින් කෑ ගැසීමට අවශ්‍ය විය.
“මොකද වුණේ?…තාත්තේ! ඔයා මට ගැහුවා.” නමුත් තාත්තා කනස්සල්ලෙන් හා දුකෙන් සිටිනු දුටු මම සැණෙකින් පිළිතුර වෙනස් කළෙමි “මම දර කපන වෙලාවේ දර අත්ත මගේ අතේ වැදුණා.” “ඊළඟ පාර පරිස්සමෙන් කපන්න.” පැවසූ තාත්තා කෑම පිඟාන දෙසට මුහුණ හරවා ගත්තේය. රාත්‍රියේ තාත්තා නැවතත් මත්පැන් පානය කරන්නට පටන් ගත්තේය. මම මල්ලීට නිදාගැනීමට මදුරු දැල එල්ලා පිළියෙල කර දුන්නෙමි. මල්ලී තද නින්දේ පසුවන අවස්ථාවේ මම කොට්ටයට මූණ තදකරගෙන ඇඬුවෙමි. දිනක් තාත්තා වැඩට ගිය අවස්ථාවේ අම්මා හදිසියේම ගෙදරට පැමිණියාය. මල්ලි සහ මම අම්මා බදාගෙන හැඬුවෙමු. “අම්මේ ඔයා අපිත් එක්ක ජීවත්වන්න එන්නේ කවදද?” මා අසා සිටියා. “මම ආයේ එන්නේ නෑ” ඈ පැවසුවාය. මෙවර අම්මා නැවත පැමිණ සිටියේ ඈ සමග ජීවත්වීමට තම දරුවන් නගරයට රැගෙන යාමට ය.
“තාත්තට මොකද වෙන්නේ?” මල්ලි විමසා සිටියේය.
අම්මා පවසා සිටියේ තාත්තා මෙහෙ නතරව සිටින බවයි.
“තාත්තා විතර ද?” මම විමසුවෙමි. අම්මා පවසා සිටියේ;
“තාත්තා ආයිමත් කසාදයක් කර ගනීවි”.
අම්මා පැවසූ දේ අසා මම නිහඬවම ඔළුව වැනුවෙමි. සුළු වේලාවකට පසුව, මම අම්මා දෙස බලා ප්‍රශ්න කළෙමි; “ඇයි ඔයා අපිත් එක්ක ජීවත් වෙන්න එන්නේ නැත්තේ? ඔයාට තාත්තා එක්ක ඉන්න බැරිද?” අම්මාගේ හඬ අමනාප ස්වරූපයකට පෙරළුණි.
“එයා ඔයාවත් මරලා දායි.”
අම්මා එලෙස පවසන අවස්ථාවේ මම බියට පත් වූයෙමි. බීමත් රාත්‍රී දිනවල තාත්තාගේ කොසු පහරවල් මට සිහිපත් විය. එදින මල්ලි සහ මම තාත්තාගෙන් බේරී අම්මා සමග නගරය වෙත ගියෙමු. නගරයේ පළමු රාත්‍රියේදී, දවස තිස්සේ වෙහෙසකර ගමන නිසා මල්ලී සුවසේ නිදාගත්තේ අම්මා මිලදී ගෙන තිබූ සෙල්ලම් බඩු සමගය. සවස වැඩ නිමවා නිවසට පැමිණි පසු අපව නොදකින තාත්තා කුමක් කරනු ඇතිදැයි කල්පනා කරමින් සිටි මට නින්ද නොගියේය. එහෙත් මට නින්ද ගිය සැණින් සිහිනෙන් දුටුවේ, තාත්තා බීමතින් මට කොස්සකින් පහර දෙන අයුරුය. මම බියට පත්ව කෑ ගසමින් අවදි වූයෙමි. ඇතුල් කාමරයෙන් පිටතට පැමිණි අම්මා;
“මොකක් ද වුණේ?.. තාත්තා… තාත්තා ඔයාට ගැහුවා.! තාත්තා නිතරම ඔයාට ගහනවද? ඇයි මට කිව්වේ නැත්තේ? ” යැයි විමසා සිටියා ය.
“අයියෝ! නැහැ., තාත්තා මට ගැහුවෙ නෑ.” ඒ මොහොත වනවිට අවදියෙන් සිටි මම සැණෙකින් පිළිතුරු දුන්නෙමි.
සුසුමක් හෙළුෑ අම්මා මා අසලින් මඳ වේලාවක් වාඩි වී සිට, නැවත තම කාමරය වෙත ගියා ය. ඒ සමගම පිරිමියෙකුගේ කටහඬ මට ඇසුණි. “ඔයා, එයාලට ගෙදර යන්න කියන්නෙ කවදද?”
“කරුණාකරලා එයාලට මෙහෙ ඉන්න ඉඩ දෙන්න. මට එයාලට උගන්වන්න වුවමනා යි.” අම්මා මෘදු ලෙස පැවසුවා ය. “මම තවත් වැඩ කරන්න උත්සාහ කරන්නම්.”
“ඔයා වැඩිපුර වැඩ කරන්න ඕනැ නැහැ. මට අවශ්‍ය ඔයා මිසක්, ඔයාගේ ළමයි දෙන්නා නෙවෙයි.”
“කරුණාකරලා මාව තේරුම් ගන්න.” අම්මාගේ හඬ බැගෑපත් විය. “ඔයාට එයාලත් එක්ක ඉන්න ඕනෑ නම්, ඔයාගේ ගෙදරට ගිහින් ජීවත් වෙන්න. හරිද?.. මම එයාලට තව ටික දවසක් මෙහෙ ඉන්න දෙන්නම්. පස්සෙ ඔයා එයාලව ගෙදර එක්කන් යන්න.”
එවර අම්මා හඬනු මට ඇසුණි. කඳුළුවලින් මගේ මුහුණ ද තෙමී ගියේය. අම්මාගේ අලුත් ස්වාමි පුරුෂයාගේ නිවසේ ගතකළ දවස් කිහිපයේ, මම දවස පුරා ම නිහඬව සිටියෙමි. මල්ලී තවමත් ළාබාල ය. ඔහුට මේ කිසිවක් තේරුණේ නැත. දවස පුරාම ඔහු සෙල්ලම් බඩුවල ඇලී ගැලී සිටියේය.
ඉන්පසු දිනෙක තාත්තා අප සොයා පැමිණියේය. මම තාත්තාට කතා කළෙමි. තාත්තා කිසිවක් පැවසුවේ නැත. ඔහු දිගු වේලාවක් මගේ මල්ලි සහ මා දෙස බලා සිට; “අම්මා කොහෙද?” යැයි විමසී ය.
මම තාත්තට පිළිතුරු දීමට පෙර, අම්මා ඉහළ මහළේ සිට පහළට පැමිණියාය. තාත්තා දුටු ඈ තුෂ්නිම්භූත වූවා ය.
“ඔයා මෙතැන මොකද කරන්නේ?” අම්මා ඔහුගෙන් ප්‍රශ්න කළා ය. “මම ආවෙ මගේ දරුවො දෙන්නා ආපහු එක්ක යන්න.” “එයාලා මගේ.”
“ඔයා, එයාලගෙ අම්ම වෙන්න සුදුසු නැහැ.”
“වටින්නෙ කවුද නැද්ද කියලා ඔයා කියන්න ඕනැ නෑ. එයාලා ඉන්න කැමති කා එක්කද කියලා අහල බලන්න. ඒක එයාලගේ අයිතිය.” තාත්තාගේ මුහුණ එකවර ම සුදුමැලි වූයේ ය. ඔහු වේගයෙන් හුස්ම ගන්නා අයුරු මම දුටුවෙමි. “එන්න. ඔයා ජීවත්වෙන්න ආස කා එක්කද?” අම්මා එක්ක ද තාත්ත එක්ක ද? මට කියන්න”
අම්මාගේ විමසීමට මම හිස වැනුවෙමි. තාත්තා සහ අම්මා දෙස බැලීමට තරම් මා එඩිතර වූයේ නැත. ඒ වෙලාවෙ මට ඇසුණේ තාත්තා කහින හඬ ය. තාත්තා බීමතින් බිම ගුලි වී හඬන හැන්දෑව, මගේ මතකයේ තිබුණි. තාත්තාගේ කටහඬ මගේ සිතේ දෝංකාර දුන්නේය.
“මොකද ඔයාගේ අතට වුණේ?” ඒ මොහොතේ මම මගේ හැඬුම නවත්වා ගන්නට තොල් සපා ගත්තෙමි.
ටික වෙලාවක් මල්ලි දෙස බලා සිටි මම;
“ඔයා කාත් එක්කද ඉන්න කැමති?” ඔහුගෙන් අසා සිටියෙමි.
“මට අක්කා එක්ක ඉන්න ඕන!” ඔහුගේ පිළිතුර විය.
එසේ කියූ මල්ලී මගේ පිටුපස සැඟවුණි. තාත්තා මා දෙස බලා සිටිනු මට පෙනුණි. අම්මා මා දෙස බලමින් මට අභියෝග කරන්නාක් මෙන්; “ඔයාට කා එක්කද ඉන්න ඕනේ, මට කියන්න.?” යැයි කීවා ය.
මම අම්මා දෙස බලා හඬමින් කතා කළෙමි.
“අපි ආපහු ගමට යමු.” අපි ආපහු නගරයෙන් පිටත්වන අවස්ථාවේ කළුවර වැටී තිබුණි. ඒ කුඩා නිවසට ළඟා වූ අවස්ථාවේ, මල්ලී කෑගැසුවේ ය;
“මෙන්න! අපේ ගෙදර.” නිවස තුළ මත්පැන් සහ පුස් ගඳ පැතිරී තිබුණි. එදා රෑ බෝවන තුරුම මම නිවස පිරිසිදු කර, අස් කළෙමි. එදින තාත්තා බීමත්ව සිටියේ ද නැත. තාත්තාගේ රැකියා කටයුතු දවසින් දවස පිරිහුණි. ඔහුගේ ගොන් කරත්තයට මෙම කුඩා නගරයේ රික්ෂෝ සහ ගොවිපළ වාහන සමග තරග කරන්නට බැරි විය. අපේ පවුලේ ආදායම දුර්වල වන්නට පටන් ගත්තේය. හරකුන් අසනීප වී මිය ගියේය. තාත්තා නැවතත් බීමත්කමට වැටුණි. බීමතින් පැමිණ හඬමින් අම්මාට බැණ වැදීමට පටන් ගත්තේය. රෑට බීමතින් සිටින සෑම අවස්ථාවකදී ම තාත්තා මට කොසු මිටෙන් පහර දුන්නේය. ඔහු මට පහර දෙන අවස්ථාවේ මම කිසි විටෙක ඔහු වෙතින් පලා නොගියෙමි. මම අත් දෙකෙන්ම මගේ හිස අල්ලාගෙන ඔහුට පහර දීමට ඉඩ හැරියෙමි. එහෙත් සැමදාම උදේට තාත්තා ඉක්මනින් නැගිට බස් නැවතුම්පොළට ගියේය. අහම්බෙන් තාත්තට නගරයේ බස් නැවතුම්පොළේ පෝටර්වරයකු ලෙස රැකියාවක් ලැබී තිබුණි. දවසකට බස් දෙක තුනකට යන එන මිනිසුන්ගේ බඩු ඇද්දේය. අපේ පවුල නඩත්තු කිරීම සඳහා මුදලක් ඉපයීමට තාත්තා කළ හැකි හැම දෙයක්ම ඉටු කළේය. තාත්තා ආපසු නිවසට පැමිණියේ අඳුර වැටෙන වේලාවේදී ය. මම ඔහුට බත් පිළිගැන්වූ විට, ඔහු මගේ අත දෙස බලා යළිත් අසා සිටියේ;
“ඔයාගේ අතට මොකද වුණේ?”
තාත්තාට බොරු කියන්න, මම නිදහසට කරුණු සොයා ගත්තෙමි. මගේ අත්වල තැලීම් ඇති වුණේ ඔහු මට පහර දීම නිසා බව ඔහුට කියන්නට මට කිසිදා අවශ්‍ය නොවී ය. වරක් තාත්තා මගෙන් විමසූ අවස්ථාවේ, මම කලබල වී ඉක්මනින් පවසා සිටියේ;
“තුවාන් මට ගැහුවා.”
තාත්තා ගොරවා ගෙන බත් පිඟාන ඉවත දමා;
“ඇයි ඔයා අක්කට එහෙම ගැහුවේ තුවාන්? කවුද ඔයාව නෑව්වේ? කවුද ඔයාට උයලා දුන්නේ? කවුද ඔයාව නිදිකෙරෙව්වේ?”
තාත්තා කඳුළු සැලුවේ, මල්ලිට අසාධාරණ ලෙස බැණ වැදීමෙන් පසුව ය. ඔහු නිදාසිටින විටදිත් මට මල්ලි හඬනු ඇසුණි.
එහෙත් එක දිනක් කොසු මිට යළිත් වරක් මගේ මැණික් කටුවේ වැදුණි. එවර මගේ මැණික් කටුව උළුක්කු වී ඉදිමුණි. මට එය තාත්තගෙන් සඟවා ගන්නට හැකි වූයේ නැත. එදා රෑ කෑම කන අවස්ථාවේ තාත්තාට බත් පිඟාන දෙන්නටවත් මට නොහැකි වුණි. තාත්තා මා දෙස බලා ප්‍රශ්න කළේ ය;
“ඔයාගෙ අතට මොකද වුණේ?” මම කඳුළු සැලුවෙමි.
ඒ වෙලාවේ, මට ඔහුට සත්‍ය හෙළි නොකර සිටින්නට ම නොහැකි වූයේ ය.
“තාත්තේ! මම ගොඩක් වේදනාවෙන් ඉන්නේ.“
“මොකක්ද වුණේ?” තාත්තා කලබල විය.
“කවුද ඔයාට ගැහැව්වේ?… කවුද? කවුද…ඔයාට ගැහුවේ?.
“තාත්තා මට ගැහුවේ නැහැ.” මම හඬා වැටුණෙමි.
“මට තාත්තා.. ගැහුවේ නැහැ…”
“කවුද ඔයාට ගැහුවේ…?” තාත්තා මහ හඬින් කෑගැසුවේය.
“දැන්ම මට කියන්න. මම ඌට ගහලාම මරා දානවා.”
තාත්තා එසේ අසන විට මට මහ හඬින් හැඬුණි. මම හැඬුවේ වේදනාව නිසා නොවේ. දුක නිසා ය. මම තව තවත් හැඬුවෙමි. තාත්තාගේ දුක්මුසු හඬ නිසා මම වැඩියෙන් හැඬුවෙමි.
“ඔයාට ගැහුවේ කවුද කියලා නොකිව්වොත් මම ඔයාට ගහනවා.”
“තාත්තේ, මට තවත් ගහන්න එපා…., මට තවත් ගහන්න එපා…”
තාත්තා වෙව්ලන්නට විය. ඔහුගේ ඇස් රතු විය. ඔහු මාව ඔහුගේ දෑතින් අල්ලා ගත්තේය. ඔහුගේ උණුසුම් හුස්ම සමගින් වැලඳ ගැනීම මා තවත් අසරණ කළේය. මා අඬමින් පැවසුවේ;
“හැමදාම රෑට බීමතින් ඔයා මට කොස්සෙන් ගහනවා. ඒත් මං තාත්තට කිව්වෙ නැත්තෙ ඔයා දුක් වෙයි කියලා. මට සමාවෙන්න. තාත්තෙ, මට දිගටම ගහන්න. නමුත් තවත් බොන්න එපා.”
එවර, තාත්තා වෙව්ලන අයුරු මම දුටුවෙමි. තාත්තාට හැඬිණි. ඔහුගේ හැඬීම “ඌ…ඌ…” මෙන් මගේ හිසට ඉහළින් නොනැවතීම ඇසුණි.
අලුයමට ආසන්නව මම අවදි වූයෙමි. නිවසේ දැල්වූ පහන් ආලෝකය එලෙසම විය. මා දුටුවේ තාත්තා නිසොල්මන්ව වාඩිවී සිටින අයුරුය. මම ඇඳෙන් බැස ඔහු ළඟට ගියෙමි. මම තාත්තාගේ ගෙල වැලඳගෙන විමසීමි;
“ඔයාට බොන්න වයින් නැද්ද?”
තාත්තා හිස වනා, සෙමින් දෑස පියා ගත්තේය. එහෙත්, ඔහුගේ දෑස් අගින් කඳුළු ගලා ආවේ ය. “අඬන්න එපා තාත්තේ.”
තාත්තා ආපසු හැරී මාව බදා ගත්තේය. ඔහු යමක් මුමුණණු මට ඇසිණි.
“අද ඉඳලා මං තවදුරටත් දුක් වෙන්නෙ නැහැ. ඔයා වගේ දුවෙක් ඉන්න මට, ආයේ කවදාවත් දුකක් දැනෙන එකක් නෑ.”
මම මගේ දෑස වසාගෙන, තාත්තාගේ පපුව මත ම ගුලි වූයෙමි. ඒ රාත්‍රිය අතිශය උණුසුම් විය. වෙන කවරදාකටත් වඩා තාත්තාගේ සෙනෙහස කෙරෙහි විශ්වාසදායක සමීප බවක් මට දැනුණි.
https://divaina.lk/%E0%B6%AD%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F/
රාජ .. නියමයිනේ මේ හරක් මසාජ් කරන කතාව.. ලංකාවේ බොහෝමයක් ජොලි කරන ohe ඇදිල යන යුරෝපා වීසා බලපත්‍ර! ඒ අමාරුව හොයල දාපු ඩොලර් ගසා කාපු එවුන්ට කෝ දඬුවම?
--
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
To view this discussion visit https://groups.google.com/d/msgid/indraka/CAFRcW-LBr0R8LtDVkoenTX55e%2BbLBVEXuenRafA_X_Ed99LkYg%40mail.gmail.com.
පොඩි බාප්පාගේ වාහනය කොරටුවේ ගෙදර පියසේන අයියා විසින් මහත් උජාරුවෙන් පදවා ගෙන යන අයුරු සමාගම් කඩේට ගොස් ආපසු යමින් සිටි ලොක්කේ එදින දෙතුන්වරක් ම දැක තිබුණේය. ඒ හැම වතාවකම පාහේ රිය තුළ දෙතුන් දෙනෙකු සිටියෙන් ඔහු නිච්චියටම සිතා ගත්තේ ඒවා දහයේ කෑලි බවය. එකල දහයේ කෑළි වශයෙන් හඳුන්වනු ලැබුවේ අලවතුතිස්සේ සිට අහංගම දක්වා යන කුලී ගමන්ය. එම දුර ප්‍රමාණය ගමන් කිරීම සඳහා අය කෙරුණු කුලිය රුපියල් දහයක්වීම නිසා පොඩි බාප්පා විසින් එම කෙටි දුර ප්‍රමාණය හඳුන්වනු ලැබුවේ දහයේ කෑළි යනුවෙනි.
ලොක්කේට මතක තිබුණු අන්දමට පොඩි බාප්පා ඩිපල් රෙකාඩ් වර්ගයේ මෝටර් රථය මිලදී ගත් අලුත ඔහුට දවසකට දහයේ කෑළි හත අටක්ම ලැබී තිබුණේය. එම ප්‍රමාණය ඊට වඩා අඩු වූයේ එහෙමත් දිනෙකය. ඔහු එදින අන්තිමට දැක තිබුණේ ලොකු නැන්දාත් හිච්චි අක්කාත් සමග පියසේන අයියා හැටට හැටේ අහංගම පැත්තට යන අයුරුය.
වෙනදා නම් පියසේන අයියා ලොක්කේ දුටුවිට අතවනාගෙන යාමට පුරුදුව සිටියේය. එහෙත් පොඩි බාප්පාගේ මරණයෙන් පසු ඔවුන්ගේ පවුල් අතර යම් විරසකයක් හට ගෙන තිබුණෙන් ඉන් අනතුරුව ඔහුගෙන් එවැනි සුහදතාවයක් පළ නොවීය. ඇතැම් අවස්ථාවලදී ඔහු මුහුණට මුහුණ හමුවූවිට පවා පියසේන අයියා නාඳුනන අයකු සේ ඉවත බලාගෙන ගියේය.
පොඩි බාප්පාගේ වාහනය ගතවූ තුන්හාර මාසයට බෙහෙවින් අවලන්සන වී ඇතැයි ලොක්කේට සිතුණේය. එය අලුත්ම අලුත් කිරි ටොයියෙකු නොවුණද පොඩි බාප්පා එය දිනපතාම වාගේ සෝදා පිරිසිදු කර දිස්නය ගසන අයුරින් තියාගෙන සිටි බවද ඔහුට මතකය. එහෙත් එදින ඔහු දකිනවිට එම වාහනය දූවිල්ලෙන් වැසී අවලස්සන වී තිබීම ගැන ලොක්කේගේ සිතට දැනුණේ ඉවසිය නොහැකි තරමේ වේදනාවකි. වෙනකක් තබා අහංගම කඩමණ්ඩියේ සිටින අළුගුත්තේරු කොල්ලන් වාහනයේ පසුපස වීදුරුවේ නොයෙකුත් බලි රූප පවා ඇඳ තිබුණේය.
හැබැයි පොඩි බාප්පා හිටියනං කාරෙකට ඔහොම වෙන්න දෙන්නේ නෑ.... යි කී ලොක්කේ ජොංගුරු කඩෙන් හාල්මැස්සන් අරික්කාල ද ගෙන ආපසු හැරුණේය.
කඩේ ගියයි දරුවෝ?
ගල්ලිඳ අසළදී හමුවූ එන්සෝ ආච්චි එසේ ඇසුවේ ලොක්කේ දෙසත් ඔහු අත තිබූ හාල්මැස්සන් ගොටුව දෙසත් මාරුවෙන් මාරුවට බලමිනි. එහෙත් ඇයට පිළිතුරු දීමටවත් නොනැවතුණු ලොක්කේ ගල්ළිඳ ළඟින් දකුණට හැරී අඩි පාර දිගේ පිම්මේ දිවගියේය. ඔහුට අවශ්‍ය වී තිබුණේ හැකිතාක් ඉක්මනින් දුවගොස් තමන් දුටු දෑ අම්මාගේ කනේ තැබීමටය.
‘‘අම්මා දන්නවය වැඩක්?’’ යි මහ හඬින් අසමින් අම්මා අසලින් ඇන තබාගත් ලොක්කේ පැහැණු කොස් මදුලක් ගෙන ඇටය අතින් ගලවා කටේ දමා ගත්තේය. ඒ දුටු අම්මා කළේ ඔහුගේ අතට ගසමින් රවා බැලීමය.
උඹ මක්කයි අර කියා ගෙන ආවේ? යි ඇසූ අම්මා ඇගේ දෙපා අසල දැවටෙමින් සිටි බැල්ලිය කකුලෙන් ඉවතට තල්ලු කර දැමුවාය. පොඩි බාප්පගේ කාරෙක කොරටුවේ ගෙදර පියසේන අයිය දැන් පට්ට ගහනවා. හරියට එයාලයි කාරෙකක් වගේ. ඔහු එසේ කියමින් හා ස් හා ස් ගා හති දැමුවේය. ලොක්කේ මුලින් සිතුවේ ඒ කතාව ඇසූවිට අම්මා කෝපවීමට ඉඩ ඇති බවය. එහෙත් ඇගේ මුහුණේ එවන් කෝපයක ඡායාමාත්‍රයකුදු නොදුටු ඔහුට පුදුම හිතුණේය. දහයයි කාළේ රේල්ලුව හූ හඬ නගමින් පොල්ඔය පාලම පසු කර යන හඬ ඒ සමගම ඈතින් ඇසුණේය. පෙරේදා තමන් රේල් පාර අයිනේ සිට කෝච්චියේ ගිය සුද්දෙකුට අතවැනූ විට ඒ සුද්දා තමන් දෙසට ටොපි අහුරක් විසි කර ගෙන ගිය අයුරු ඒ සමගම ඔහුගේ මතකයට නැගුණේ ඉබේටමය.
බොලයි පොඩි බාප්පත් ඉතින් ඒ කාරෙක කොරටුවේ ගෙදර ඈයින්ටම සින්න වෙන විදියටනේ වැඩ සිද්ධ කෙරල ගියේ. යි කී ලොක්කේලාගේ අම්මා වෙලෙන් එගොඩහ පැත්තේ තිබූ පියසේන අයියලාගේ මහ ගෙදර දෙස බලා කට පැත්තකට ඇද කළාය. තම මවගේ එම වෙනස් හැසිරීම ගැන පුදුමයට පත්වූ ලොක්කේ තමන් අත තිබූ හාල් මැස්සන් ගොට්ට දුම උඩින් තබා තමන්ගේ අතේ ගැවී තිබූ කොහොල්ලෑ ගුලිය මත පොල්තෙල් බින්දුවක් උලා ඉවත් කර දැමුවේය.
ලොක්කේලාගේ පියාගේ බාල සහෝදරයා වූ පොඩි බාප්පා ඔහු දන්නා කාලයේ සිටම අහංගම චාල්මන් මුදලාලිගේ කුළී කාරෙකේ රියැදුරෙකු වශයෙන් කටයුතු කළේය. අවුරුදු දහයකටත් වැඩි කාලයක් එලෙස අනුන් යටතේ වාහන පැදවූ ඔහු තමන්ගේම වාහනයක් මිලදී ගත්තේය. ඔහු ඒ සඳහා අවශ්‍ය මුදල් සොයාගත්තේ තමන්ට පිය පාර්ශ්වයෙන් උරුමවූ එකම කුඹුරු කොටහ උඩගෙදර සොමි නැන්දාට විකුණා ලබාගත් මුදල් සහ චාල්මන් මුදලාලිගෙන් අතමාරුවට ගෙන තිබූ මුදල් යොදවමිනි.
පොඩි මල්ලියේ ඔය කුඹුරු කෑල්ල විකුණලා කාර් ගන්න එකනං ඒ හැටි හොඳ වැඩක් නෙවි. ඒ හින්ද තව කීයක් හරි එකතු වෙන කං ඉඳලා ඔය ගැන සිතුවොත් නේද හොඳ?
දිනක් හෝ දින දෙක තුනක්ම තාත්තා එසේ කියමින් පොඩි කුඹුරු කෑල්ල විකුණා කාර් ගැනිල්ලෙන් වළක්වා ගැනීමට තාත්තා එසේ කී බව ඒ සමගම ලොක්කේගේ මතකයට නැගුණේය. එහෙත් තම වැඩිමහල් සොහොයුරාගේ ඒ කතාව තඹ දොයිතුවකටවත් ගණන් නොගත් පොඩි බාප්පාගේ අදහස වූයේ තමන්ගේම වාහනයක කුළී දුවන්නට ඇත්නම් සල්ලි පැටවු ගස්සන හැටි තමන් දන්නා බවය.
‘‘ කිව්වා නාහන ගුරු ඉහළ ගියත් එකයි පහළ ගියත් එකයි’’ කියමින් නිහඬ වූ ලොක්කේලාගේ තාත්තා ඊට පසු සතියකටත් වැඩිකාලයක් තම පොඩි මලයාගේ මුහුණවත් නොබලා සිටියේය. ඊට ටික දිනකට පසු තමන් සතු කුඹුරු සොටස සොමි නෝනාට විකුණා දැමූ පොඩි බාප්පා අහංගම චාල්මන් මුදලාලිගෙන් අතමාරුවට ගත් මුදලක්ද යොදවා ගාල්ලේ මහත්තැන් කෙනෙකුගෙන් ඕපල් රෙකාඩ් වර්ගයේ මෝටර් රථයක් මිලදී ගෙන තිබුණේය.
3 ශ්‍රී කාණ්ඩයේ මෝටර් රථයක් වූ එහි වර්ණය ළා නිල් පැහැයට හුරු විය. පොඩි බාප්පා කලින් පැදවූ චාල්මන් මුදලාලිගේ වාහනයට වඩා අලුත් එකකැයි එම වාහනය දුටු විටම ලොක්කේට සිතුණෝය.
පොඩි බාප්පේ මේකද, චාල්මන් මුදලාලිගෙ කාරෙකද වැඩිය අලුත්?
ලොක්කේ එදින සවස් වරුවේ ළිඳ ළඟ වාහනය සෝදමින් සිටි පොඩි බාප්පාගෙන් එසේ විමසුවේ තමන්ගේ නිගමනය හරියටම හරිදැයි දැන ගැනීමටය.
මේක මේක ඒ කාරෙක ඊ.එන්. එකක් නේ. මේක 3 ශ්‍රී ඇරත් මේකේ හොඳට තෙල් වැඩ කරනවා. මේක තමයි දැන් කාලේ අඩුවට ගන්න තියෙන හොඳම වාහනේ යි කී පොඩි බාප්පා වාහනයේ රෝද අස්සට සරා ස් ගා වතුර බාල්දියක් ගසා පොල්ලෙල්ලකින් ටයර් සුද්ධ කළේය.
පොඩි බාප්පාගේ කාරෙක සෝදන වැඩේට හවුල් වීමට ලොක්කේ සැහෙන උත්සාහයක් දැරුවද එය අසාර්ථක විය.
අන්න අර පැත්තකට වෙලා හිටින් යි කියමින් ලොක්කෙට සැර කළ පොඩි බාප්පා පසුව ඔහුට කියා ළිඳෙන් වතුර බාල්දි කීපයක් ගෙන්වා ගත්තේය.
පොඩි බාප්පා විසින් සෑහෙන වෙලාවක් තිස්සේ සෝදා පිරිසිදු කළ වාහනය තම නිවස ඉදිරිපිට පාරේ නතර කර තිබියදී පාරේ ගමන් කළ කීප දෙනෙකුම ඒ දෙස හැරි හැරී බලන අයුරු දුටු ලොක්කේගේ සිතට දැඩි සතුටක් දැනුණේය. එම සතුට දෙගුණ වූයේ ඔහුට පාසලේදී කීපවරක්ම අරියාදු කර තිබූ විජේරත්නද ඒ අතර සිටි බව දැකීමෙනි. ඔහු විජේරත්නට පෙනෙන ලෙස රෙදි කෑල්ලක් ගෙන කාරෙකේ බොනට්ටුව පිස දැමුවේ ඔළුව කෙළින් කර ගෙනය. එදින රාත්‍රී ලොකු නැන්දලාගේ ගෙදර දරමඩුවේ වාහනය ගාල්කර තැබූ පොඩි බාප්පා හාපුරා කියා කුළී දුවන්නට යන දා කිරිබත් කෑමට ආවේද ලොක්කෙලාගේ ගෙදරටය.
ඔහු ඊට කලින් දා සවස් වරුවේ ඒ ගැන කියා තිබුණෙන් ලොක්කේලාගේ අම්මා උදේ රැයින් නැගිට උම්බලකඩ යහමින් දැමූ කට්ට සම්බෝලයක්ද සමග රසට කිරිබත් උයා තිබුණාය.
පොඩි මලයා ඒකටනේ මේ තරං කාලයක් දත කෑවේ. ඉතින් අපි මොනවටෙයි එයැයිගේ ආසාවට අකුල් හෙළන්නේ යි ඇසූ තාත්තා කලින්දා සවස වැඩ අහවර වී එනවිට සාමෙල් මුදලාලිගේ කඩෙන් කෝලිකුට්ටු ඇවරියක්ද ගෙනැවුත් තිබුණේය. පොඩි බාප්පාගේ කාරෙක පමණක් නොව පොඩිබාප්පා පවා එදින ලොක්කේට පෙනුණේ වෙනදාටත් වඩා හැඩටය.
අලුත් සරමකින් සහ කමිසයකින් සැරසී කහ පැහැති සිල්ක් ලේන්සුවක් බෙල්ලේ ගැටගසාගෙන සිටි පොඩි බාප්පා ලොක්කේලාගේ අන්දර වැට අසල රිය නතර කර ගෙට ගොඩ වැදුණේ එකල ජනප්‍රියව තිබූ සින්දුවක තාලයට උරුවම් බාමිනි.
ඉතින් කොහොමද ලොකු එකෝ යි අසමින් ගෙට ගොඩ වැදුණු පොඩි බාප්පා ලොක්කෙගේ ඔළුව අත ගා ලොසින්ජර මුලක් දුන්නේ සිනාසෙමිනි. එමලින් අක්කගේ කිරිබත් ටික නං පංකාදුයි...
පොඩි බාප්පා ලොක්කෙලාගේ අම්මා දෙස බලා එසේ කීවද ඔහු තමන්ගේ පිඟානට දමාගත් කිරිබත් කෑල්ලෙන් හරි අඩක්වත් නොකෑවේය.
අද මිනිහගෙ හිත පිරිලා ඒකයි බෙදා ගත්තු කිබත් කෑල්ලවත් නොකෑවේ. යි කී ලොක්කෙලාගේ තාත්තා තම පිඟානේ ඉතිරිවී තිබූ කිරිබත් කෑල්ල ලේනුන්ට කෑමට අඹගස මුලට ගිය පොඩි බාප්පා දෙස බලා සිනාසුණේය. තමන්ගේ කීමට පිටුපා තම කුඹුරු කොටස සොමිනෝනාට විකුණා දැමීම ගැන සතියකටත් වැඩි කාලයක් පොඩි බාප්පාගේ මුහුණ දෙසවත් නොබැලූ තාත්තා එදින ඔහු සමග සතුටින් කතා බහ කරන අයුරු දැකීම ලොක්කෙගේ සිතටද බලවත් අස්වැසිල්ලක් විය. ඔහු මුලින් සිතුවේ තාත්තා තවත් කාලයක් යනතුරු පොඩි බාප්පා සමග කතාබහ නොකිරීමට ඉඩ තිබෙන බවය.
අර මක්කටෙයි පොඩි බාප්පගේ කාරෙකේ ඉස්සරහින් මිරිස් කරල් එක්ක දෙහි ගෙඩි දෙකක් එල්ලගෙන ඉන්නේ?
ලොක්කේ තම බාප්පාගෙන් එසේ විමසුවේ අම්මාටත්, තාත්තාටත් දණගසා වැඳ දකුණු කකුල පෙරට තබා ගෙයින් එළියට බැස වාහනය අසලට යන අතරතුරයි. එහෙත් ඊට කිසිදු පිළිතුරක් නොදුන් ඔහු තම කටේ උඩු ඇන්දේ සවිකර තිබූ රත්තරන් දත පෙනෙන ලෙස සිනා සුණේය.
මේ කොලුවටත් ඕන නැති දෙයක් නැහැනේ යි කී අම්මා ඔහු දෙස රවා බැලුවාය.
පොඩි එකෝ උඹත් නැගපං කාරෙකට මම උඹ ඉස්කෝලේ ගාවින් බස්සගෙන යන්නං යි කී පොඩි බාප්පා වාහනයේ ඉදිරිපස දොර හැර ලොක්කේ දෙස බැලීය.
පොඩි බාප්පා කී ඒ කතාවට ලොක්කේගේ හිස මුදුණේ මලක් පිපුණාක් වැනි හැඟීමක් ඇති වූයේ ඉබේටමය. එසේ වූයේ ඔහු පොඩි බාප්පාගෙන් එවැනි ආරාධනයක් ලැබෙතැයි සිහිනයකිනුදු බලාපොරොත්තු නොවූ බැවිනි.
‘‘මං විජහින් එනවා.... පොඩි බාප්පේ.... යි කී ලොක්කේ වහා ගෙතුලට ගොස් තම ගල්ලෑලි පොත් ටික රැගෙන ආවේ සතුටින් ඉපිලයමිනි අම්මා හෝ තාත්තා ඒ ගැන විරුධත්වයක් නොදැක්වූයෙන් හෙතෙම දුවගොස් කාරෙකේ ඉදිරිපස අසුනට නැග හරිබරි ගැසුණේය.
‘‘කාගෙද මල්ලී ඒ කාරෙක?
තමන් පොඩි බාප්පාගේ රියේ ඉදිරි අසුනේ සිට රියෙන් බැස පාසලේ ගේට්ටුවෙන් ඇතුළට යනවිට ඒ අසල සිටි ඉහළ පන්තියක අයියලා දෙදෙනෙකු එසේ විමසූ බව ඔහුට මතකය.
අපේ පොඩි බාප්පා ගත්තු කාරෙක යි මහත් උජාරුවෙන් කී ලොක්කේ තම කම්මුල් දිගේ පහළට බේරි ආ පොල්තෙල් සීරාව පිටි අත්ලෙන් පිසදමමින් පාසල තුළට වැදුණේය. පොඩි බාප්පා තමන් පාසලේ ගේට්ටුව අසලින් බස්සවා ආපසු ගොස් විනාඩි කීපයක්ම ගතවනතුරුත් පෙට්ට්‍රල් ගඳ ඔහුගේ නැහැයට දැනුණේය. තමන් පොඩි බාප්පාගෙන් රියෙන් බැස පාසල තුළට යනු දුටු ඔහුගේ පන්තියේ මිතුරන් දෙතුන් දෙනෙක්ද ඒ ගැන විස්තර අසා තිබුණාහ. තමන්ට හැමදාමත් එම රියෙන් පාසලට එමට හැකි නම් කොතරම් හොඳදැයි ඔහුට බොහෝ අවස්ථාවල දී සිතුනද හෙතෙම ඒ අදහස වෑයමින් යටපත් කර ගත්තේය.
ලොක්කේලාගේ සීයා ඔහුගේ ළඟ ගෙදර ලියා තිබුණේ තනිකරම පොඩි බාප්පාගේ නමටය. එසේ වුවද ලොකු නැන්දලාට එහි ඕනෑ තරම් කාලයක් වාසය කිරීමට ඉඩ දුන් පොඩි බාප්පා පපුවේ අමාරුවක් නිසා මිය යනතුරුම වාසය කළේ මහ ගෙදර ඉඩමේ පොඩි ගෙපලක් අටවා ගෙනය.
මට පුළුවන ඔය මහ තඩි ගේක තනිපංගලාවේ ජීවත් වෙන්න? කිසිවකු පොඩි බාප්පාගෙන් ඇසූවිට ඔහු එම තැනැත්තාට කීමට තිබුණේ ඊට සමාන පිළිතුරකි. උදේටත් දවල්ටත් අහංගම ගුණවර්ධන බේකරියෙක් කෑම කෑ ඔහු රෑ කෑමට ලොක්කලාගේ ගෙදරට ආවේය.
පොඩි මල්ලියේ දැන් උඹ කෙහේද ඔය වාහනේ රෑට නතර කරන්න හිතාගෙන ඉන්නේ.
පොඩි බාප්පා වාහනය මිල දී ගැනීමට දින දෙක තුනකට පෙර තාත්තා එලෙස විමසු බව ලොක්කේට මතක තිබුණේය.
මං එක මහ ගෙදර දර මඩුවේ නතර කරන්නයි හිතාගෙන ඉන්නේ.
ඉතින් බං මහ ගෑනි ඒ වැඩේට කැමැත්ත දුන්න නිසා නේ මං කාරෙක දර මඩුවේ නතර කරන්නේ. යි ඊට පිළිතුරු වශයෙන් කී පොඩි බාප්පාට සුළු වශයෙන් හෝ සිත් රිදීමක් සිදුවී තිබුණේ ලෙකු නැන්දාගේ වැඩිමහල් පුත්‍රයා වන පියසේන අයියා සාමෙල් අප්පුගේ කඩේ දී කියා ඇති මොකක්දෝ කට කැඩිච්ච කතාවක් නිසාය.
ඔන්න ඔය වගේ වෙලාවට තමයි මල්ලියේ වත්ත බද්දට දීලා ඇස් සහ දත නියවනවයි කියන්නේ.
පොඩි බාප්පාගේ ඒ කතාව ඇසූ අම්මා කුස්සිය පැත්තේ සිට උස් හඬින් කීවාය.
මේ ගෙදර හරි හමන් පාරක් තොටක් තියේනං මල්ලියේ තොට ඔය එක එකාගේ ආඩම්බර බලන්න වෙන්නේ නැහැනේ. යි කී තාත්තා ඊළඟට කියා සිටියේ වාහනය රෑ තිස්සේ එළිමහනේ නතර කර තබනවාට වඩා මහගෙදර දරමඩුවේ හෝ ගාල් කිරීම හොඳ බවය. වාහනය එළිමහනේ ගාල් කර තැබීමෙන් එය ඉක්මනින් දිරා පත්වීමට ඉඩ ඇති බව ද හෙතෙම කීවේය.
එදා සිට පොඩි බාප්පා කාලයක් යනතුරු තමන්ගේ වාහනය රාත්‍රී කාලයේ ගාල්කර තබන ලද්දේ මහ ගෙදර පිළිකන්න පැත්තේ තිබූ දර මඩුවෙහිය. බොහොමයක් දිනවල පොඩි බාප්පා ද වාහනය තුළම වකුටු වී නිදා ගත්තේය.
මුල් කාලයේ දී ඔහුට කර කියා ගැනීමට නොහැකි තරමට හයර් ලැබුණු බව ලොක්කේට මතකය. චාල්මන් මුදලාලිගෙන් අතමාරුවට ගෙන තිබු ණය මුදලෙන් අඩකටත් වඩා ගෙවා තිබුණේ එලෙස ලැබුණු මුදල් වලිනි.
දවල් කාලයේ හයර් තුන හතරක් ගොස් අතමිට සරු වූ දිනවල පොඩි බාප්පා හීන් අඩියක් ගසා ආපසු පැමිණියේ ලොක්කෙට ගුණවර්ධන බේකරියෙන් සීනි බනිස් මුලක්ද රැගෙනය. එවැනි දිනවල ලොක්කෙලාගේ තාත්තාට කළු සුරුට්ටු මිටියක් ද රැගෙන එමට ඔහු කොහෙත්ම අමතක නොකළේය. එලෙස හවස් අතේ ලොක්කෙලාගේ ගෙදරට පැමිණ පැයක් හමාරක් ගත කරන පොඩි බාප්පා ආපසු ගියේ රෑට කෑමත් කා එතෙක් කාරෙක මුර කරමින් සිටින ටොමියාට බත් ඩිංගක් ද කඩඳාසියක ඔතාගෙනය.
දැන් ඉතින් තමන්ගෙම කියලා වාහනයකුත් තියෙන එකේ නරක ද මල්ලියේ ටිකක් පිළිවෙළක් වුණොත්? එහෙම මොකෝ ඒ වැඩ කටයුතුත් කෙරෙන්න එපා යෑ.
දිනක් අතමිට සරුවූ පොඩි බාප්පා වෙලාසනින් ලොක්කෙලාගේ ගෙදරට පැමිණ බුරු ඇඳ මත වාඩිවී උණු තේ කොප්පයක් බොමින් සිටිය දී ඒ අසලට ආ අම්මා එසේ විමසුවේ තාත්තාගේ මුහුණ දෙස ද බලමිනි.
ඔන්න ඉතින් එමලින් අක්කත් ඔය හදන්නේ මේ යසට ඉන්න මාවත් අමාරුවේ දාන්න.යි කී පොඩි බාප්පා හිස් කොප්පය කනප්පුව උඩින් තබා තම උඩු ඇන්දේ තිබු රත්තරන් දත පෙනෙන ලෙස සිනාසුණේය.
අර පත්තිනි ගෙදර ගුණවතීගේ වැඩුමල් එකී උඹට හොඳට ගැලපෙනවායි කියලා මේ ගිය සතියෙත් එලින් කියනවා ඇහුණා යි.. කී ලොක්කෙලාගේ තාත්තා ඒ කතාවට අගුල්පත් තියමින් සුරුට්ටුවක් ඉරුවේය. එහෙත් ඔහු ඒ කතාව එතැනින්ම නතර කළේ පොඩි බාප්පා ගෙන් ඒ ගැන යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බැවිනි.
බොගේ හිතේ වෙන කවුරු හරි ගැන අදහසක් තියෙනවා නං ඒ ගැන ඔය එමලින්ටවත් කියාපන්. එතකොට අපට හොයලා බලන්න බැරියැ. ලොක්කෙලාගේ තාත්තා එසේ කියද්දී බක බක ගා සිනාසුණු පොඩි බාප්පා කතාවක් නැතිවම එතැනින් මාරුවී ගියේය.
උඹ කැමති නැද්ද ලොක්කේ කාර් එළවන්න ඉගෙන ගන්න?
දිනක් තමන් ද ඉදිරිපස අසුනේ හිඳුවා ගෙන වාහනය පදවන අතරතුර පොඩි බාප්පා තමාගෙන් එසේ විමසූ බව ලොක්කේට මතකය. බාප්පා තමන්ගෙන එසේ ඇසුවේ විහිළුවට යැයි සිතූ ඔහු ලැජ්ජාවෙන් හැකිළුණෝය. ඔහුගේ සිතට එතරම් ලැජ්ජාවක් දැනුනේ වාහනයක් පැදවීමට තරම් තමන්ගේ කකුල් දෙක දිග මදි යැයි ඔහුටම හැඟුණු බැවිනි.
හැබැයි පොඩි එකෝ ඒකට තව ටිකක් ලොකු මහත් වෙන්න ඕන. එතකොට මං උගන්වන්නං අගේට යි කී පොඩි බාප්පා තම රත්තරං දත පෙනෙන සේ හොක් හොක් ගා සිනාසුණේය.
ලොක්කේ ඒ කතාව පන්තියේ යහළුවන් සමඟ කියා තිබුණේ පොඩි බාප්පා අනාගත කාලයෙන් කී ඒ කතාව වර්තමානයට ආදේශ කරමිනි.
ඉතින් මරුණේ යකෝ, උඹ ඒකට හා කිව්ව ද? යි ඇසූ ඔවුන් ඇස් උඩ ඉන්දාගෙන තමන් දෙස බලද්දී ලොක්කේගේ දෑස් සතුටින් දිලිසුණේය. තමන් කෙසේ හෝ ලොකු මහත් වී පොඩි බාප්පාගෙන් වාහන පැදවීමට ඉගෙන ගත යුතු යැයි ඔහුගේ සිත මුර ගා කීවේය. ඔහු එදින සිට දිනපතාම පාහේ තමන්ගේ උස මැන ගන්නේ ඒ සඳහා පෙර සූදානමක් වශයෙනි.
එහෙත් ඊට ටික දොහකට පසු පොඩි බාප්පා උන්හිටි ගමන් මිය ගියේය. ලොක්කේ පමණක් නොව ඔහුගේ දෙමාපියන් පවා ඒ බව දැන ගත්තේ චාල්මන් මුදලාලිගේ ගෙදරින් ලැබුණු පණිවිඩයකිනි.
එම ආරංචිය ලැබුණු විගස වැලේ වනා තිබු අත් දිග මේස් බැණියම අතට ගෙන ඇඟට දමාගත් ලොක්කෙලාගේ තාත්තා හෙන්දිරික් මාමාගේ තිරික්කලයෙන් ගොන්නගහහේනේ ග්‍රාමීය රෝහල වෙත ගියේය.
තමන් රෝහල වෙත යනවිටත් පොඩි බාප්පාගේ මෘත දේහය රෝහලේ මිනී කාමරය වෙත යවා තිබිණැයි තාත්තා ගෙදර පැමිණ අම්මා සමග කියන අයුරු ගෙයි මුල්ලකට වී හඬමන් සිටි ලොක්කෙගේ කනට ඇසී තිබුණේය.
‘‘වැඩක් වුණේ නැහැ බං ඉස්පිරිතාලෙට ගේන කොටස් පොඩි මලයගේ හුස්ම ටික ගිහින් තිබුණයි කියලයි දොස්තර මහත්තොරු කිව්වේ. මොනව කරන්න ද ඉතින් පොඩි මලය ගෙනාපු ආයුෂ එච්චර වෙන්න ඇති. නැත්නං මේ ගහක් ගලක් වගේ හිටපු මිනිහ කොහොමෙයි ඔය විදියට මැරෙන්නේ යි අම්මා සමග කී තාත්තා මරණයේ ඉතිරි වැඩ කටයුතු කිරීම ගැන කතා කර ගැනීම සඳහා ලොකු නැන්දලාගේ ගෙදරට ගියේය. ඒ දක්වා ගෙයි මුල්ලකට වී හොරෙන් කඳුළු සලමින් සිටි ලොක්කේ මහ හඬින් හඬා වැටුණේ පොඩි බාප්පා මියගිය දුකටත් වඩා තමන්ට යළි කිසි දිනෙක වාහනයක් පැදවීමට ඉඩක් නොලැබෙතැයි සිතුණු බැවිනි.
ඇඳුම් ආයිත්තම්වලින් තදබද වුණු ෂොපින් මෝල් එකේ දැනෙන්නේ ගම්බද පොළක දැනෙන ගතියක්. වායු සමීකරණ යන්ත්‍රවලට ඔරොත්තු නොදෙන ප්‍රමාණයක් ඒ සීමිත ඉඩකඩේ ගාල්වෙලා. ඒ හා සමානම ප්‍රමාණයක් ඇතුල්වීමට බලාපොරෙත්තුවෙන් මාවත දෙපස දෙපේලියකට පෙළගැසී ඉන්නවා.
“එක අතකට උදෙන් ආපු එකත් හොඳයි නැත්නම් දරුවත් වඩාගෙන පාරේ හිටගෙන ඉන්න වෙනවා” මට හිතුණා.
අද සෙනසුරාදා වුණත් වරුවක් හරි වැඩට යන දවසක්. එහෙම ගියා නම් ඕ ටී වැටෙනවා. ඒත් ගිය සතියේ අමාධිගේ කීම අහන්නේ නැතිව වැඩට ගිය එකේ වාඩුව මුළු සතියේම මගෙන් පිරිමැහුවා. ගිය සතියෙම ආවනම් හොඳයි කියලා හිතෙන්නේ ඉන්න සෙනඟ කන්දරාව දකිනකොටයි. එදා නම් මෙච්චර සෙනඟ ඉන්න නැතිව ඇති. අවුරුදු ලංවෙන්න ලංවෙන්න රෙදි කඩවල සෙනග වැඩී.
පාක් කරගන්න තැනක් නැතිව ඒ පැත්තට මේ පැත්තට පැය බාගයක් විතර වාහනේ එලවනකොට අමාධි හිටියේ තරහෙන්.
“ඒක තමයි මම ගිය සතියේ එමුයි කිව්වේ. වැඩට යනවා එනවා ඇර අවුරුද්දක් ළඟටම ඇවිත් කියන එක දැනෙන්නෙම නැතිව ඇති. කොහෙද පුරුද්දක් තියෙන එකක් යැයි”
“පුරුදු වෙන්න නම් ඔයත් එක්ක හිටපු කාලේ හොඳටම ඇති”
කියන්න හිතට ආවත් කරබාගෙන හිටියේ අනවශ්‍ය කතා ඕනෑ නැති නිසයි. පන්නිපිටිය අවට ලොකු රෙදි සාප්පු ගණනාවක්ම තිබුණත් අමාධිට ඕනෑ වුණේ මෙහාටම එන්නයි. රටේම ප්‍රසිද්ධ නමක් තියෙන තට්ටු ගණනාවක පැතිරුණු සාප්පු සංකීර්ණය අතුරු සිදුරු නැතිව රෙදි වලින් පුරවලා. ඒ වගේම මිනිස්සුන්ගෙන් පිරිලා.
දරුවෝ වඩාගෙන යන අය, දරුවෝ අතින් ඇදගෙන යන අය, දරුවන්ව මගහැරෙන අය, මහ හඬින් බෙරිහන් දිදී අඬන දරුවෝ මෙකී නොකී අය අතර වැඩි දෙනා කාන්තාවෝ. ඒ කාන්තාවන්ගේ බඩු බාහිරාදිය ඔසවාගෙන දරුවනුත් කරපින්නගෙන යන පිරිමිත් ඉන්නවා. හරියට මං වගේ.
ඇතුල්වුණු තැන ඉඳලම අමාධිට මෙලෝ සිහියක් නැහැ. අදිනවා බලනවා අඳිනවා ගලවනවා. එකම යුද්ධයක්. පරුවත වගේ කාන්තාවෝ ඉන්න තැනම ඉඳගෙන තමන්ට වඩා පුංචි ඇඳුමක් කොහොම හරි ශරීරයට බස්සවගන්න හදනවා. බැරි තැන ඇඳුම කොතනට හරි වීසි කරනවා. ඒත් පහුබහින්නේ නැහැ. තවත් ඇඳුමකට උත්සාහ කරනවා. හවස් වෙනකොට සේවකයෝ හේහත් වෙනවා ඇති ඇදලා දාපු ඇඳුම් අහුරලාම.
අමාධි පස්සෙන් පුංචි චමත්වත් උස්සගෙන චමත්ගේ බඩු බාහිරාදිය තියෙන බෑගයත් ඔසවගෙන ගාටලාම හොම්බත් වුණු මම අමාධිගේ කනට කරලා මෙහෙම කිව්වා.
“ඔයාට ඕන එකක් අරගෙන මෙතෙන්ට එන්න මම පුතත් එක්ක මෙතන වාඩිවෙලා ඉන්නම් බිල ගෙවන්න මට කතාකරන්න”
මගේ දිහා ඔලොක්කුවට බැලුව අමාධි
“කොහෙද? ෂොපින් ගිහින් පුරුද්දක් තියන එකක් යැයි ඉස්සර අපේ තාත්තා නම් අම්මත් එක්කම රෙදි තෝරනවා අම්මට වඩා හොඳට රෙදි තෝරන්න තාත්තට පුළුවන්”
ඕවට උත්තර දෙන්න වෙලාව නෙවෙයි ඒ. මම චමත් එක්ක පඩි පෙළේ කොනක වාඩි වුණා. පඩි පෙළේ යන්තම් යන්න විතරයි ඉඩ තියෙන්නේ. මහන්සියට ඕන කෙනෙක් අහුවුණු තැනක ඉඳගන්නවා.
දවල් වෙන්න වෙන්න රස්නය තවත් වැඩිවුණා. වායු සමීකරණ වැඩ කරනවද කියලා ඔළුව හරවලා බැලුවේ ඉන්නම බැරි පාර. මිනිස්සුන්ගේ දාඩිය ගඳයි ඇඳුම්වල සුවඳයි එකතු වෙලා ඔළුව කැරකෙනවා වගෙයි. චමත්ටත් ඇතිවෙලා.
“බඩගිනී යමු ගෙදර” කියනවා.
අමාධි තවම නැහැ. බැරිම තැනයි එයාට කෝල් එකක් ගත්තේ. වැදිලා වැදිලා නැවතුණා. දෙතුන්පාරක්ම උත්සාහ කරනකොට එයා උත්තර දුන්නා.
“තවම ඉවර නැද්ද පුතාට දැන් ඇතිවෙලා”
“පුතාට නෙවෙයි තාත්තටයි දැන් ඇතිවෙලා ඇත්තේ ෂොපින් ආවහම ඔහොම තමයි අනේ මම ඉන්නේ ෆිටෝන් පෝලිමේ ඇඳලා බලලම ගන්න ඕන නැත්නම් ගෙදර ගෙනිහින් ආයෙත් දවසක එන්න වෙනවා මාරු කරන්න” අමාධි කියනවා.
“මොන ෆිටෝන් ද ඇඟට තියලා බලලා අරගෙන එන්න ඇයි ඔය ගෑනු කට්ටිය ඔතනම ඉඳන් ඇඳලා බලන්නේ”
“ඔයා දන්න තරම තමයි ඔය පොඩ්ඩක් ඉවසලා ඉන්න මම ඉක්මනටම එනවා” අමාධි කෝල් එක කට් කළා.
චමත් චුරු චුරු ගානවා. ඒ පාර එතන තියන මහ විසාල සෙල්ලම් බැකෝ එකක් ඉල්ලනවා. කොහොම හරි යාප්පුවෙන් රාක්කෙක තිබුණු පුංචි බැකෝ එකක් අතට දීලා නලවගත්තා. අවුරදු කටේ සල්ලි ගෝනියක් තිබුණත් මදි. ඊයේ රෑ අමාධි කියපු එක තවම මාව කොනිත්තනවා.
“වැඩ කරන්නේ නම් බැංකුවක ඒවුණාට කුණු ලෝබයි කොහෙන් පුරුදු වෙච්ච දේවල්ද මන්දා”
“වැඩ කරන්නේ බැංකුවක වුණාට බැංකුව මගේ නෙවෙයිනේ” මම කිව්වා.
ගස්සගෙන අනිත් පැත්ත හැරිලා නිදාගත්තා මිසක් ආයේ කතාවට ආවේ නැහැ.
යන එන සෙනඟ කන්දරාව දිහා බලාගෙන ඉන්නකොට මට මතක් වුණේ ඉස්සර අවුරද්දට ඇඳුම් ගන්න තාත්තත් එක්ක පොළට යන හැටි.
ගොයම් කපල පාගලා කන්න ඉතුරු කරගෙන ඒ වී විකුණලා ගන්න මුදල තාත්තා දෙන්නේ අම්මා අතට. පාසැල් නිවාඩුවෙන් පස්සේ එන බදාදා තාත්තා මාවයි මල්ලිවයි බයිසිකලයේ දෙපැත්තේ තියාගෙන පොළට එක්ක යනවා. ඒ යන්න කලින් වුවමණා මුදල අම්මගෙන් ඉල්ලා ගන්නවා. අවුරුද්දට ඕන කරන තුනපහ ටිකත් එක්කම ලොකු කරවල කූරියෙකුත් ගන්න තාත්තා ඊළඟට යන්නේ රෙදි වෙළෙන්දා ළඟට.
මල්ලිටයි මටයි එකම ජාතියේ කොට කලිසම් දෙකකුත් කමිස දෙකකුත් අරගෙන දෙනවා. අම්මට ලොකූ මල් රෙද්දක් ගන්නවා දිග ගවුමකට. තාත්තට ගන්නේ සුදු කමිසෙකුයි කොටු සරමකුයි. අපට මොනතරම් අග හිඟ තිබුණත් අම්මගේ අම්මටයි තාත්තටයි චීත්තයක් සරමක් ඒ එක්කම ගන්නවාමයි. දඹුල්ලේ කිරි අම්මට ඒ කියන්නේ තාත්තගේ අම්මට රෙදි හැට්ට මහගෙන යන්නේ අපේ අම්මා.
“ඔය ගමන්ම අපේ අම්මලටත් මොනවා හරි ගන්න” මම නැවත කෝල් කරලා අමාධිට කිව්වා.
“ඔයාට පිස්සුද මේ සෙනග අස්සේ අම්මලට ගැලපෙන ඇඳුම් හොයන්න පුළුවන්ද අවුරුදු ඉවර වුණහම සෙනඟ අඩු වෙනවනේ එතකොට ළඟ කඩේකින් මොනවා හරි ගනිමු. කොහොමත් අපි මේ හදිස්සියේ ඔයාලගේ ගමේ යන්නේ නැහැනේ”
“එහෙම නම් මල්ලිගේ කෙල්ලෝ දෙන්නට ගැලපෙන ගවුම් දෙකක් ගන්න චමත්ගේ වයසෙමනේ”
“මම මේ අපේ නංගිගේ දරුවන්ට ඇඳුම් හොයනවා තවම ඒවා වත් හොයාගන්න බැරි වුණා” කියූ අමාධි ෆෝන් එක කට් කළා.
අන්තිමට අමාධි රෙදි පුරවපු බෑග් දෙක තුනක් ඇදගෙන පහළට එනකොට හතරත් පහුවෙලා. වෙහෙසටම චමත්ට මගේ උරහිසේම නින්ද ගිහිල්ලා. මම විතරක් නෙවෙයි නිදි දරුවන් කරපින්නගෙන ඇවිදින තාත්තලා කීපදෙනෙක්ම තව හිටියා. දවල්ට කෑවේ නැති නිසා මගින්ම කාලා ආවත් චමත් නම් බත් කටක්වත් කෑවේ නැහැ. ඒ තරමටම දරුවා හෙම්බත් වෙළා. ගෙදර ඇවිත් ඇඟ සෝදලා කිරි එකක් බීපු පාර නැගිට්ටේ පහුවදා උදේ. අපි දෙන්නත් ගෙනාපු පාන් ගෙඩිය ජෑම් ගාගෙන කාලා ඇඳට වැටුණා.
ඉරිදා උදේම ගෙදර වැඩ ඉවර කරලා අමාධි බැස්සේ ඇඳුම් ඇඳලා බලන වැඩේට. ඇඳලා බලලා ගෙනාවත් සමහර ඇඳුම් හිරයි. සමහර ඒවයේ පාට ගැලපෙන්නේ නැතිලු. ගෙනාපු සෙරෙප්පුවලට කකුල කැපෙනවලු. ඇවිදිනකොට ලිස්සනවලු. ලෙඩ ගොඩයි. අමාධිගේ කල්පනාව මාරු කරන්න යන්න.
“ඔයා තනියම ගිහින් ඕන එකක් කරගෙන එන්න නැත්නම් ඔහොමම අඳින්න මායි පුතයි නම් ආයේ ඒ පැත්ත පළාතේ යන්නේ නැහැ”
“ගොඩයෝ කවද ගියපු සාප්පුද”
අමාධි තමන්ටම කියාගත්තත් මට ඒක හොඳට ඇහුණා. ඒත් ඕකෙ එල්ලිලා දවස විනාශ කරගැනීමේ අදහසක් මගේ තිබුණේ නැහැ.
ඇඳ උඩ ගොඩගහලා තිබුණු ඇඳුම් දැක්කම ඒ ඔක්කොම අමාධිට නෙවෙයි කියලා තේරුණා. අමාධිගේ අම්මට තාත්තට නංගිට නෑනට ඒගොල්ලන්ගේ දරුවන්ට ඇඳුම් ගෙනත් තිබුණු බව බිල දැක්කමත් තේරුණා. ඒත් මම නොතේරුණා වගේ හිටියා. කොහොමත් අවුරද්දට නෑදෑයන්ට ඇඳුමක් කැඩුමක් දීම යුතුකමක් බව මමත් දන්නවා. ඒත් ඒක එක පසෙකට සීමා වීමයි කනගාටු.
නැකැත් යෙදිලා තිබුණේ පාන්දරමයි. කිරිබත් කෑවහම දැනෙන නිදිමතයි වැඩිය කෑවහම ඇතිවන බුදිමතයි දෙක එකට එකතුවෙලා ඇස් පියවෙනවා. මට ඕන වුණේ ඇඳට වෙලා හොඳ නින්දක් නිදාගන්න. මේ වගේ නිවාඩුවක් ලේසියෙන් හම්බවෙන්නේ නෑ. ඒත් අමාධි ලෑස්ති වෙන්නේ ඒගොල්ලන්ගේ ගෙදර යන්න. පන්නිපිටියේ ඉඳලා නුගේගොඩට තියෙන්නේ ටික දුරක් වුණාට අවුරුදු නැකැත් වලින් පස්සේ පාරේ වාහන පිරෙනවා. මම කැමතිම නැහැ මේ වගේ දවස්වලට වාහන එලවන්න. චමත්ව අන්දවාගෙන අමාධි එළියට බැස්සේ අතින් කටින් බඩු මලු එල්ලගෙන.
“අපේ ගෙදර ගිහින් එන්න නම් මාසයක් කන්කෙඳිරි ගාන්න ඕන” මට හිතුණා.
අපි යනකොටත් අමාධිලාගේ මිදුලේ වාහන හතරක් පහක්ම නවත්තලා තිබුණා. අයියලා නංගිලා කලින්ම ඇවිත් වගේ.
“ඕක තමයි ටිකක් කලින් එමු කිව්වේ. අම්මා අහයි දැන්ද එන්නේ කියලා” අමාධි බැස්සේ මට රවාගෙන.
අපි ගෙට ගොඩවන කොටත් වැරන්ඩා එකේ බෝතල් පාටිය පටන්ගෙන. මට ඔය වැඩ අල්ලන්නේ නැති නිසයි මෙහෙ එන්න අකමැති. තාත්තලා පුතාලා බෑනලා එකට බොනවා. අම්මලා දූලා බයිට් හදනවා. ඉස්සර අපේ තාත්තා මඟුල් ගෙදරකදි පොඩ්ඩක් බිව්වත් බොන්නේ අපිට නොපෙනෙන්න හැංගිලා. ඕවා කිව්වොත් අමාධි කියයි
“ගොඩයන්ට කොහොමත් ඕවා පුරදු නැහැනේ කියලා”
පැත්තකට වෙලා ඉන්න එක හොඳ නැති නිසා වීදුරුවකට කොකා කෝලා ටිකක් දාගෙන මමත් එතනින්ම ඉඳගත්තා. එතන මාතෘකාව වුණේ මට අරහංම මාතෘකාවක් වන දේශපාලනය. වෙරි මත ඉහට ගහනකොට මාතෘකාවේ උණුසුමත් ටික ටික වැඩි වුණා. හෙමිහිට එතනින් නැගිටපු මම ළඟ තිබුණු පරණ පත්තරයකුත් අරගෙන ජනේලයක් ළඟ වාඩි වුණේ පත්තරය කියවන මුවාවෙන්. කොහොමත් අමාධිගේ තාත්තට මාව අල්ලන්නේ නැහැ. අමාධිගේ බලකිරීමට ඉඩ දුන්නා මිසක් තාත්තා කැමති වුණේ නැහැ අපේ කසාදෙට.
මට අමාධිව මුලින්ම මුණගැසුණේ බැංකුවෙන් ගිය ටි්‍රප් එකකදි. අමාධි ඇවිත් හිටියේ අපේ බ්‍රාන්ච් එකේම වැඩ කරන නිරූපා එක්ක. ඒ දෙන්නා පාසැල් මිතුරියෝ. ඒ කාලේ අපේ සෙක්ෂන් එකේ තනිකඩයකුට හිටියේ මම විතරයි. කැම්පස් එකෙන් අවුට් වෙනකනුත් මට කෙල්ලෙක් හිටියේ නැහැ. මට එහෙම ඕනකමක් තිබුණෙත් නැහැ. ඒ නිසාම බැංකුවේ අය තමන්ගේ වගකීමක් කරගත්තා මට කෙල්ලෙක් හොයලා දෙන එක. මට පස්සේ හිතුණ විදියට නිරූපා මං ගැනම ඉලක්ක කරලා තමයි අමාධිව එක්කගෙන ඇවිත් තිබුණේ.
ඇත්තටම අමාධි හරිම ලස්සනයි. දැක්ක කෙනෙකුට ආයේ හැරිලා බලන්න හිතෙන ලස්සනක් ඒක. ඒත් එයා ඇඳලා කරලා ඇවිත් තිබුණු හැටියට නම් මට හිතුණේ එයා මට නම් කැමති වෙන එකක් නැහැ කියලයි. එදා වචනයක් දෙකක් කතාකරලා දැන හඳුනා ගත්තත් පස්සෙ දවසක නිරූපා එයාගේ ගෙදර පාටියක් ලෑස්ති කළේ අපි දෙන්නට කතාබහ කරන්න ඉඩක් සලස්සන්නමයි.
ඒ පාටියෙන් පස්සේ අපි දෙන්නා නිතර ෆෝන් එකෙන් කතාබහ කළා. පස්සේ තමයි ඒක ආදරයකට පෙරළුණේ. අපේ අදහස්වල නොගැලපීම ඒ දවස්වල නම් දැනුණේ නැහැ. දැනුණේ නැහැ කියනවට වඩා අමාධි එයාගේ අදහස් එළියට දැම්මේ නැහැ.
අමාධි වැඩ කළේ එයාගේ තත්තා දැන හඳුනන ප්‍රයිවට් හොස්පිට්ල් එකක රිසෙප්ෂනිස්ට් විදියට. පවුලෙන්ම බලපෑව ඉංග්‍රීසි හුරුව එයාට ඒකට උදව් වෙලා තිබුණා. ප්‍රේම සම්බන්ධතා කීපයක්ම බිඳවැටිලා කලකිරීමෙන් හිටපු අමාධි හෙව්වේ විවාහ වෙන්න හොඳ පදනමක්. ඒත් අමාධිගේ තාත්තා නම් මට කැමැත්ත දුන්නෙම නැහැ. ඒකට හේතුව මම ගමෙන් ආ අයකු වීමත් මගේ දෙමව්පියෝ ගොවියෝ වීමත්.
අවුරුදු පාටිය අවසන් වෙළා ගෙදර එනකොට රෑ දහයත් පහුවෙලා. සෙනසුරාදාට තෙල් ගාන නැකත යෙදිලා තියෙන නිසා මම අමාධිට කතා කළා එදාට අපේ ගෙදර ගිහින් එන්න.
“අයියෝ එදාට අයියලාගේ ගෙදර රෑ කෑම තව ටිකක් පහුවෙලාම ගමේ යමු” අමාධි ගත් කටටම කිව්වා.
අපේ මගුල් දවසෙත් මගේ අම්මයි, තාත්තයි, මල්ලියි හිටියේ හරියට අමුත්තෝ වගේ. ඒගොල්ලන්ට කරන්න කිසිම දෙයක් ඒ මගුලේ තිබුණේ නැහැ. ඔක්කොම කෙරුණේ අමාධිගේ ගෙදර අයට ඕන පිළිවෙලට. හැබැයි වියදම් කළේ මම. ඉඳහිට ගමේ ගියත් ඒ ගියේ මම තනියම. අමාධී පුතයි ගියේ අවුරුද්දට විතරයි. ඒත් තවම එක රැයක් අමාධි ගමේ ගෙදර ඉඳලා නැහැ.
බඳිනකොටත් ගේ හදන්න ඉඩම මම සල්ලිවලට අරගෙනයි තිබුණේ. අපි බැඳලා පදිංචි වුණේ ඇනෙක්ස් එකක. ඒ වෙනකොටත් මම ලෝන් එකක් ඉල්ලලයි තිබුණේ. ඒක අනුමත වුණු නිසා කෙටි කාලයකින්ම ගේ හදාගෙන පදිංචි වෙන්න පුළුවන් වුණා. ගේ පදිංචි වෙන උත්සවයට තමයි මගේ අම්මයි, තාත්තයි, මල්ලියි, මල්ලි බැඳපු චමරි නංගී වාහනයක් හයර් කරගෙන කාරුණෑගල ඉඳලම ආවේ. එදා රෑ නවතින්න හිතාගෙන ආපු එයාලා ඒ මහ රෑම ආපහු කරුණෑගල යන්න පිටත් වුණේ අමාධිගේ පිළිගැනීමේ හොඳකම නිසයි. එදායින් පස්සේ මම මොන තරම් එන්න කිව්වත් ඒගොල්ලෝ මොනවා හරි කියලා මගහරිනවා.
හැබැයි මේ ප්‍රශ්න හැම වෙලාවෙම අපි අතරේ තිබුණ ඒවා නෙවෙයි. අමාධී මායි ඇත්තටම සතුටෙන් අපේ පවුල් ජීවිතය ගතකළා. අමාධි මට හොඳට සැළකුවා. මගේ ගැන හොයලා බැලුවා. මාත් එහෙමයි. අපි දෙන්නා අතර හැම ප්‍රශ්නයකටම මුල අපේ පවුල්. මට අමාධිගේ පවුල රූස්සන්නේ නැහැ. අමාධිට අපේ පවුල රූස්සන්නේ නැහැ.
අප්‍රේල් පහුවෙලා මැයි මාසේ පළමු වැනිදා කුරුණෑගල යන්න යොදාගත්තේ මගේ තනි කැමැත්තට. එහාට මෙහාට ඇද ඇද ඉඳලා අන්තිමට අමාධි වචනේ ස්තිර කළේ මම තනියම හරි යනවා කියලා පීරිසි කෝප්පයක් එහෙම බිම දාලා සද්දයක් දැම්මට පස්සෙයි. අම්මලාටයි මල්ලිගේ පොඩි වුන් දෙන්නටයි ඇඳුම් මොනවාහරි ගන්න යමු කියලා කතා කළහම අමාධි කිව්වේ
“ඔය යන ගමන් කුරුණැගලින් ගන්න පුළුවන්නේ” කියලයි.
මම තව මොනවත් කතාකරන්න ගියේ නැහැ. කෝප්ප සිද්ධියෙන් පස්සෙ චමත් මං දිහා බලන්නෙත් බයෙන්.
පළවැනිදා උදෙන්ම පිටත් වුණේ අමාධි පහුවෙනිදා වැඩට යන්නම ඕනෙයි කියපු නිසයි. නැත්නම් මම එදාටත් නිවාඩුවක් අනුමත කරගෙනයි තිබුණේ. අපි කුරුණෑගලට එනකොට නවයට කිට්ටුයි. ටවුමේ තියන අලුත් රෙදි කඩ ගැන මම දන්නේ නැහැ. පරණ පුරුදු කඩයක් ළඟ නවත්තලා රෙදි ගන්න ගියා. ඒකට නම් බොහොම කැමැත්තෙන් අමාධි එකතුවුණා. මම වැඩිය වියදම් කරයි කියලා බයේද කොහෙද.
අමාධි පොඩි එවුන්ට තේරුවේ ලාබම ගවුම් පොඩි දෙකක්. මම කිව්වා අම්මට සාරියක් ගමු කියලා.
“සාරි අරගෙන අම්මා කොහේ අඳින්නද ගවුම් රෙද්දක් අරගෙන දෙමු. පන්සලට වත් අඳීනේ” කියූ අමාධි කණ පාට රෙද්දක් අම්මට තෝරගත්තා. මම මට ඕන විදියට හොඳම බතික් සරමක් තාත්තට ගත්තා. අමාධිගේ මූණ කළු වුණේ එයාගේ දෑවැද්දෙන් කොටසක් වියදම් වුණා වගේ.
කලින් දන්වලා තිබුණු නිසා අම්මයි තාත්තයි මග බලාගෙන ඉඳලා තියෙන බව පෙනුණා. මොනවා වුණත් මගේ පුංචි ගේ දකිද්දී ඇතිවෙන්නේ ලැජ්ජාවක් නෙවෙයි. මහා ආදරණීය බවක්. මහගෙදර ජීවත් වුණේ අම්මයි තාත්තයි විතරයි. කුරුණෑගල මහ ඉස්පිරිතාලේ උපස්ථායකයකු විදියට වැඩ කරන මල්ලී, වෙනම ගෙයක් හදාගෙන පාරට කිට්ටුව පදිංචි වෙලා ඉන්නවා. එයා බැඳපු චමරි නංගී ගෙදර ඉඳගෙන කුළියට ඇඳුම් මහනවා. එයාලට ඉන්නේ චමත්ගෙම වයසේ නිවුන් දූලා දෙන්නෙක්.
තේ වලට අම්මා කජු අළුවා හදලා තිබුණා. ඒ වෙනකොට අම්මා හදන කජු අළුවා කෑල්ලක රසත් අමතක වෙලයි තිබුණේ. අමාධි නම් වැඩි කතාබහ නැහැ. අහන දෙයට විතරයි උත්තර දෙන්නේ. අම්මට එය නොවැටහුණේ අපි ආව එක ගැන හිතේ තිබුණු සතුට හින්දයි.
දවල් කෑම මේසයට මම කන්න ආස දේවල් හදන්න අම්මා මහන්සි වෙලා තිබුණා. චමරි නංගී ඇවිත් උයන්න උදව් කරලා ගිහින් තිබුණා. මල්ලිලාගේ ගෙදරටත් ගොඩවෙලා යමු කියලා මම රහසින් අමාධිට කිව්වත්, අමාධි කිව්වේ තෑගි අම්මලාටම දීලා යමු .හෙට වැඩට යන්න තියන නිසා පරක්කූ වෙන්න බැහැ කියලයි.
දවල් කෑමෙන් පස්සේ අම්මටයි තාත්තටයි වැඳලා පිටත්වෙන්න හදනකොට අම්මා පාර්සලයක් ගෙනත් අමාධිගේ අතට දුන්නා.
“චමරි දුව අවුරුද්දට සාරියකුයි ගවුමකුයි දෙකක්ම ගෙනත් දුන්නා. සාරි මම කොහේ අඳින්නද ගිය අවුරුද්දේ චමරි දුව ගෙනත් දුන්නු සාරියත් තවම අල්මාරියේ. දුවට තමයි ඕක ගැලපෙන්නේ”
කිසිම කතාවක් නැතිව සාරිය එළියට අරගෙන බලපු අමාධිගේ මුහුණ එළිය වැටුණා.
“ඇත්තමයි හරිම ලස්සන සාරියක්”
මෙච්චර වෙලා අගුල් වැටිලා තිබුණු අමාධිගේ කටත් ඇරිලා.
අමාධි බෑග් එක ඇරලා සාරිය ඒකට ඔබාගෙන මං දිහා බලලා හිනා වුණ.
ඒත් මගේ මුහුණ නම් ලැජ්ජාවෙන් ඇඹුල් වෙනවා අමාධි නොදකින්න ඇති.
බිත්ති ඔරලෝසුව දෙස තත්පර කිහිපයක් ඇසිපිය නොහෙළා බලා සිටි සුනන්දාට අද වෙලාව යන්නේ ඉතා සෙමෙනැයි සිතිණි. ඇය පයිරෙක්ස් වීදුරු භාජන දෙක සෝදා පැන්ට්‍රියේ පාවිච්චියට තිබූ සුදු පාට තුවායෙන් පිස දමා මේසය මත තැබුවා ය. රයිස් කුකරය සෝදා පිස දමා මඳ වේලාවක් කල්පනා කළ ඇය කිරිබත් ඉවීමට තවම වේලාසන වැඩියැයි තීරණය කළාය.
ආහාර අනුභව කිරීමේ නැකත යෙදී ඇත්තේ පාන්දර එකයි හතළිස්හයටය. ළිප ගිනි දැල්වීම හා ආහාර පිසීම යෙදී ඇත්තේ රාත්‍රී දොළහයි විසිහතටය. සුනන්දා සිතුවේ මධ්‍යම රාත්‍රිය පසු වූ විගසම හාල් හෝදා කිරිබත ළිපේ තැබීමටය. පෙරේදා සිංහල කඩෙන් ගෙනා කැකුළු හාල් කිලෝවේ පැකට්ටුව හා මැගී පොල්කිරි පිටි පැකැට්ටුව කුළු බඩු රාක්කයෙන් එළියට ගත් ඇය පැකට් දෙකම විවෘත කර මේසයේ තැබුවේ මීට පැයකට පමණ පෙරය.
ඇයගේ සිතට වද දුන්නේ පුංචි පුතා අවදි කරවා ගැනීම ගැනය. පාසල් ගොස් පැමිණි වේලේ සිට කුඩා ඉලෙක්ට්‍රොනික සෙල්ලම් බඩුවක් අතින් ගෙන විවිධ හඬ නඟන ලෙස ඇඟිලිවලින් ඔබමින් සිටි රවිඳු ඇඟ සෝදාගැනීමට පොලඹවා ගත්තේ බොහෝ වේලාවක් කන්නලව් කිරීමෙන් පසුවය. රාත්‍රී දහයත් පසු වී ඇති මේ වෙලාවේ රවිඳු තද නින්දේය. ආහාර අනුභවය සඳහා රාත්‍රී එක හමාරටවත් රවිඳු අවදි කරවාගත යුතුය.
අම්මා ලංකාවේ සිට තැපැල් කර එවූ පංචාඞ්ග ලිතේ සඳහන් වූයේ කහ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැඟෙනහිර දෙස බලා ආහාර අනුභවය කරන ලෙසය. ලංකාවෙන් ගෙනා කහපාට සායක් කලින්දා රාත්‍රියේ සොයාගත් සුනන්දා බෙහෙවින් සතුටට පත් වූවාය. කහපාට කමිසයක් ඇත්දැයි ඇසූ විට මනෝජ් බක බක ගා සිනාසෙන්න වූයේ “ඔයාට පිස්සුද?” යි සුනන්දාගෙන් අසමිනි.
“ඔය අවුරුදු චාරිත්‍ර මේ රටවල කරන්න පුළුවන්ද, ලංකාවෙ වගේ?” මනෝජ් උපහාස ස්වරයෙන් කී විට සුනන්දා කතාව නවත්වා කරබාගත්තාය. මනෝජ් ළඟ ඇති කහපාට ඉරි වැටුණු සුදු කමිසය කෙසේ හෝ ඔහුට ඇන්දවිය යුතු යැයි ඇය අදිටන් කර ගත්තාය.
ප්‍රශ්නය වූයේ රවිඳුට කහපාට ඇඳුමක් නැති වීමය. සුනන්දා දසඅතේ කල්පනා කළාය. මේ අවුරුද්දේ අවුරුදු චාරිත්‍රය සඳහා පමණක් කහපාට කමිසයක් හා කලිසමක් මිල දී ගැනීමට සුනන්දාට සිත් නොදෙයි. මනෝජ්ට තවම හරියාකාර රැකියාවක් නැත. වැඩ පුහුණුව සඳහා සතියකට දවස් දෙකක් යන ගරාජයෙන් ඔහුට ලැබෙන දීමනාවක්ද නැත. ලැබෙන්නේ අනාගත රැකියාවක් සඳහා ඉල්ලුම් කිරීමට අවශ්‍ය වන ‘ලෝකල් එක්ස්පීරියන්ස්’ පමණි.
කලකිරුණු සිතින් ගෙදර එන අතරේ සුනන්දාට ගණ දෙවි නුවණ පහළ විය. රවිඳු අඟහරුවාදා පාසල් ක්‍රීඩා දිනයට අඳින්නේ කහපාට ටීෂර්ට් එකකි. ගිය අඟහරුවාදා ඇන්ද පසු එය සෝදන්න අමතක වූ බවද සුනන්දාට මතක් විය. සාමාන්‍යයෙන් හැම අඟහරුවාදාම පාසල් ගොස් පැමිණි පසු හෝ බදාදා උදය වරුවේ රවිඳුගේ ක්‍රීඩා ඇඳුම හෝදා වේළා නවා තැබීමට සුනන්දා අමතක නොකළාය. මේ සතිය පුරා ඇදහැළුණු මහා වැස්ස නිසාදෝ ඒ ඇඳුම සේදීමට සුනන්දා උනන්දු වූයේ නැත. එහි පාඩුව ඇයට තේරෙන්නේ දැන්ය.
වෙලාව මධ්‍යම රාත්‍රියටත් ආසන්නය. තව පැය එක හමාරකින් පමණ ඔවුන් දෙදෙනා කෙසේ හෝ අවදි කරවාගත යුතු නිසා දැන්ම ඇහැරවීම මහා අපරාධයකැයි සුනන්දා සිතුවාය. ළිප ගිනි දල්වා ආහාර පිසීමට මනෝජ් නැතත් තමාට තනිවම හෝ කළ හැකිය. එහෙත් ආහාර අනුභවය සඳහා නැකත යෙදී ඇති වෙලාවට විනාඩි පහළොවකටවත් කලින් තාත්තත් පුතාත් දෙදෙනාම අවදි කරවාගත යුතුය. එම තීරණය සනාථ කරන්නාක් මෙන් බිත්ති ඔරලෝසුවේ කුරුල්ලා දොර පළුව ඇර එළියට විත් ‘කුක්කුකූ’ හඬ නැඟුවේ මධ්‍යම රාත්‍රිය එළඹ ඇති බව කියන්නය. ළිප ගිනි දැල්වීමට තව ඇත්තේ විනාඩි විසි හතකි. ඊට පෙර සහල් සෝදා සූදානම් කර තැබිය යුතුය.
සුනන්දාට ගෙදර සිහි විය. දැන් අම්මා, තාත්තා, නංගිලා දෙන්නා සමඟ එකතු වී අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමට සූදානම් වනු ඇතැයි ඇය සිතුවාය. ලංකාවේ වෙලාව දැන් පෙර දින රාත්‍රී හතහමාර විය යුතුය. මෙරට හා ලංකාව අතර කාල වෙනස අනුව ලංකාව පැය හතරහමාරක් පසුපසිනි. ලංකාවට සාපේක්ෂව නැඟෙනහිරින් පිහිටි ඔස්ට්‍රේලියාවට කලින් ඉර පායයි. සුනන්දා ඔරලෝසුව දෙස යළිත් වරක් බලා හැට්ට අතින් දෑසම පිසදා ගත්තාය.
හරියට නැකත් වෙලාවට ළිප ගිනි මොළවා කිරිබත් ඉවීමට භාජනය ළිප මත තැබූ විට සුනන්දාට සිතට ශෝකයක් හා පාළුවක් දැනිණි. ශෝකයක් දැනුණේ තනිවම මේ සුබ මොහොතට මුහුණ දෙන්න වීම නිසාය. ලංකාවේදී නම් රතිඤ්ඤා හඬ මැද්දේ අම්මා ළිප ගිනි මොළවන මොහොතේදී ගෙදර හැමෝම අම්මා වට කරගෙනය. මනෝජ්ට හොඳ රැකියාවක් ලැබුණු විට ලබන අවුරුද්දේ අගදී වත් ලංකාවට ගොස් අම්මා තාත්තා හා නංගිලා බලා ඒමට පුළුවන.
වෙලාව රාත්‍රී එක බව සුනන්දාට සිහිපත් කළේ යළිත් වරක් කුඩා දොර පළුවෙන් එළියට විත් ‘කුක්කුකූ’ හඬ නැඟූ බිත්ති ඔරලෝසුවේ කුරුල්ලාය. පොලිතීන් බෑගයක් අතට දමාගෙන කිරිබත් පිඟානක් වඩමින් සිටි සුනන්දා පිඟානේ ගැට්ටේ විසිරී තිබුණු බත් ඇට ඉවත් කර, පිඟානේ රවුම් හැඩයට කිරිබත සකස් කළාය. මීට දෙපැයකට පමණ පෙර දැනුණු නිදිමත කොහේ ගියාදැයි ඇයට නිච්චියක් නැත. නිදිමත පලවා හැර ලොකු සතුටක් ඇයගේ ගත වෙළාගෙන ඇත. පිටරටකට ඇවිත් වුවත් අවුරුදු සිරිත් ලංකාවේ සිටියදීම වාගේ සිදු කරන්නට ලැබීම ඇයට ලොකු සතුටකි.
බිත්ති ඔරලෝසුවේ රාත්‍රී එක පසු වී විනාඩි විස්ස වන තෙක් වරින් වර ඒ දෑස් යොමු කරමින් සිටි සුනන්දා හෙමින් සීරුවේ නිදන කාමරයට ගොස් විදුලි පහන දල්වූවාය. උඩුබැලි අතට නිදා සිටි මනෝජ් දිග සුසුමක් හෙළා පොරෝණයෙන් හිස වසා ගනිමින් අනෙක් ඇලයට හැරුණේය. ඇඳේ අනික් කෙළවරේ වම් ඇලයට හැරී මුහුණ වසාගෙන නිදන රවිඳුට විදුලි පහන දැල්වීම නින්දට කිසි බාධාවක් නොවුණා සේය. සද්ද නොවන සේ ඇඳ ළඟට ගිය සුනන්දා මනොජ්ගේ දෙපතුල අතගෑවාය.
“මනෝජ් නැඟිටින්න. දැන් වෙලාව හරි.”
මනොජ් ගෙන් කිසි ප්‍රතිචාරයක් නොලද සුනන්දා මෙවර ඔහුගේ හිස අතගෑවාය.
“මනෝජ් නැඟිටින්න. නැඟිටින්න. තව විනාඩි පහළොවකින් ආහාර අනුභවය.”
මනෝජ් මෙවරද දිගු සුසුමක් හෙළා, පොරෝනයෙන් ඔළුව හොඳින් වසාගත්තේය.
සුනන්දාට දැඩි බියක් හා ශෝකයක් ඇති විය. ආහාර අනුභව නැකතට මනෝජුත් රවිඳුත් අවදි කරවාගත හැකි වේද?
“මනෝජ් අනේ ඉක්මනට නැඟිටින්න… නැඟිටින්න… පුතත් නැඟිට්ටවන්න.”
මනෝජ් ආඩපාලි කියමින් නැඟිට්ටේ විනාඩි කිහිපයකට පසුවය. ඔහු දෑස පිස දමමින් ඇඳ මත හිඳගත්තේය.
“ඔයාට නම් පිස්සු! ලොකු ඔළුවෙ අමාරුවක් තියෙනවා. දැන් වෙලාව කීයද?”
“අනේ එහෙම කියන්න එපා මනෝජ්. ලංකාවේ හිටිය වගේ නැකත් වෙලාවට අවුරුදු චාරිත්‍ර කළේ නැත් නම් මගේ හිතට හොඳ නැහැ.”
“ඔයා දැන් ලංකාවෙද ඉන්නෙ? මේ රටවල මොන අවුරුදු චාරිත්‍රද? මේ රෑදෙගොඩහරියේ. ගිහින් නිඳාගන්න, හෙට උදේට කිරිබත් කමු.”
“අනේ මනෝජ්. මම කිරිබත් උයලත් ඉවරයි. රවිඳුත් ඉක්මනට ඇහැරවන්න. තව විනාඩි පහළොවකට වඩා නැහැ…”
“මට බෑ. මට නිදිමතයි.”
“අනේ මනෝජ්…”
රාත්‍රී එකයි හතළිහට තේ මේසය වටා මනෝජ් හා රවිඳු වාඩි වී සිටියහ. සුනන්දා කහපාට සායක් ඇඳගෙන කඩිමුඩියේ මනොජ්ගේ කහ ඉරි සහිත කමිසය රැගෙන ආවාය. මනෝජ් අකැමැත්තෙන් වුවද කමිසය ඇඳගත්තේ සුනන්දාගේ සිත පෑරේවියි සිතුණු බැවිනි. තේ මේසයට හිස ගසාගෙන නිදිමත බේරෙන රවිඳු දෙස බැලූ මනෝජ්ට ඇති වූයේ කුඩා දරුවා කෙරෙහි දුකක් හා තම බිරිය කෙරෙහි කෝපයකි. එහෙත් මේ කෝපය පෙන්වීමට වෙලාව නොවේ. මීට මොහොතකට පෙර රවිඳුට කහපාට කමිසය ඇන්දවීමට සුනන්දාට කරන්ට සිදු වූයේ ලේසි-පාසු හරඹයක් නොවේ. නිදිමත බේරෙන දරුවාගේ දෑත් ඔසවා කිලිටි ක්‍රීඩා කමිසය ඔහුට අන්දවා ඇත්තේ කණපිටටය. කමිසය අන්දවා ඔහු වඩාගෙන තේ මේසය මතට ගෙන ආ විගස රවිඳු මේසය මත හිස ගසාගෙන යළිත් නිදන්න පටන් ගත්තේය.
“පුතා, දැන් නිදාගන්න එපා. හොඳ රත්තරන් පුතා නේ… පොඩ්ඩක් ඇහැරිලා මේ කිරිබත් කෑල්ලක් කන්න…” සුනන්දා කීවේ වෙව්ලන හඬිනි.
“මගේ පුතා කිරිබත් කෑල්ලක් කන්න. අද සිංහල අවුරුද්දට ලංකාවෙදි වගේ මෙහෙදිත් කිරිබත් කන්න ඕනැ නේ…”
මනෝජ්ට සිතුණේ තේ මේසයේ පුටුවත් පෙරළාගෙන නැඟිටින්නටය.
“ඔය මේ මොන පිස්සුවක්ද නටන්නේ? හෙට උදේට කිරිබත් කෑල්ලක් කවන්න ඔච්චර ඕනැ නම්. මේ මහ රෑ ජාමේ මොන අවුරුදු චාරිත්‍ර ද?”
“අනේ මනෝජ් ඔහොම කියන්න එපා. අම්මලා දැනගත්තොත් අපි මේ රටේදී මේ සිරිත් කරන්නේ නැහැ කියල මොනවා හිතයිද?”
“ඔයාගේ විකාර!”
“අවුරුද්ද දවසේවත් මට හිතේ සැනසීමක් නෑ!” සුනන්දා කිවේ හඬන්නාක් මෙනි.
අමාරුවෙන් කිරිබත් පිඬක් රවිඳුගේ කටේ ඇතිල්ලූ සුනන්දා රවිඳු වඩාගෙන ගොස් ඇඳේ තබා ඇතිරිල්ල පෙරවූවාය. මනෝජ් ආඩපාලි කියමින් ගොස් විදුලි පහන නිවා ඇඳේ වැතුරුණේය. දෑසට නැඟෙන කඳුළු පිසදැමීමට තැත් නොකළ සුනන්දා කිරිබත් කෑල්ලක් හා කෙසෙල් ගෙඩියක් කා සිතින් පන්සිල් ගත්තාය. මේ රටට ඇවිත් පළමු සිංහල අවුරුද්ද මේ අන්දමින් ගෙවී යනු ඇතැයි ඇය කිසිවිටක සිතුවේ නැත.
මනෝජ් අසලින් ඇඳේ වැතිරුණත් නින්ද ඇය කරා ආවේ නැත. මනෝජ් ගොරවන හඬට කන් දී සිටි ඇය සිතින් ගියේ ලංකාවේ ගමේ ගෙදරටය. “අනේ ලංකාවේ හිටිය නම්…” යැයි කඳුළු අතුරින් ඇයට සිතිණි. ඇයට නින්ද ගියේ ඇයටත් නොදැනුවත්මය.
උදේ හතටත් පෙර එක්වරම නැඟිටගත් සුනන්දා කිසිවක් මතක් වූවා සේ සාලයේ ලියන මේසය කරා ගොස් රවිඳුගේ පොත් බෑගය ඇර, එහි වූ කඩදාසියක් එළියට ගත්තාය. ඇයගේ හදවත ගැහෙන්නට විය. දෑස කඳුළින් තෙමී ගියේය. රවිඳු යවන්නට සිතා සිටි ටියුෂන් පන්තියේ පළමු දිනය අද සෙනසුරාදාය. පන්තිය පටන් ගන්නේ උදේ අටහමාරටය. පන්තිය ඇති බර්වුඩ් උප නගරයට යෑම සඳහා පැය බාගයක් වත් ගත වේ. හරියට උදේ අටට රවිඳුත් සුනන්දාත් කැටුව යෑමට වාහනයෙන් එන බව විජිතා කියූ බව සුනන්දාට මතක් වන්නේ දැන්ය.
“අනේ දෙයියනේ? පළමුවැනි දවසේම ටියුෂන් පන්තිය මඟඅරින්නේ කොහොමද?”
හතහමාරට රවිඳු ඇහැරවන්න තැත් කළ සුනන්දාට මනෝජ් බැණ වැදුණේය.
“ළමය ඊයේ මහ රෑ නැඟිට්ටවල, දැන් ආයිත් ඇහැරවන්නද හදන්නේ? ඔයාගේ ඔළුව හොඳටම නරක් වෙලා. ඒ ළමයට නිඳාගන්න දෙන්න!”
“එහෙම කොහොමද මනෝජ්? ටියුෂන් පන්තියේ අද මුල්ම දවස…”
“මොකද අදම ටියුෂන් දමාගත්තේ? මහ රෑ ජාමේ නැඟිට්ටපු ළමයෙක් ආයිත් මේ පාන්දර නැඟිට්ටවන්න පුළුවන්ද? ඔයා මගේත් නින්ද කැඩුවා!”
“අනේ මනෝජ්… කොහොම හරි මෙයා ඇහැරවලා දෙන්න. අද පළමුවෙනි දවස. යන්නම ඕනෑ…”
සුනන්දාගේ කටහඬ පැටලෙයි. ඇය අඬන්න ආසන්නය.
“රැවුලයි කැඳයි දෙකම බෑ. එක්කෝ මහා රෑ අවුරුදු චාරිත්‍ර, නැත්නම් පාන්දර ටියුෂන් පන්ති!”
මනෝජ් දෑස තදින්ම පියා පොරෝනයෙන් තම හිස වසා ගත්තේය.
“අනේ මගේ පුතා නැඟිටින්න. නැඟිටලා මූණ හෝදගෙන ඇඳගන්න. විජිත ඇන්ටි දැන් එනවා ඇති ඔයාව එක්ක යන්න ටියුෂන් පන්තියට.”
හදිසියේ අවදි කරවීම නිසා නොසන්සුන් වූ රවිඳු අඬන්න විය.
“මොන කරදරයක්ද මේ? ළමයට නින්දකුත් නෑ. මට නින්දකුත් නෑ… මොකක්ද මේ ඔයාට හැදිලා තියෙන ඔල්මාදේ?”
“අනේ අර විජිතා ඔච්චර දුර ඉඳල මගේ කීමට අද එන්නේ මෙයා ඉස්සෙල්ලාම ටියුෂන් පන්තියට එක්ක යන්න.”
“ඕන නාඩගමක් නටාගන්ඩ. මාව ඇහැරවන්න එපා!”
“අනේ මනෝජ්…”
ගේ ඉදිරිපිට නැවැත්වූ වාහනයක නළා හඬ ඇසිණ.
“අන්න විජිතා ඇවිල්ලා, පුතා ඉක්මනට නැඟිටින්න” යි කියමින් සුනන්දා දොර ඇරීමට දිව්වාය.
හෝයි ඇයගේ සුදුමැලි දෑත් ඔසවා උදරය අතගාමින් සමෙහි රළු ඉරිතැලීම් රේඛා පිරිමැදීමට උත්සාහ කළාය. සැමියා නොව, ඇය සහ ඇයගේ දරුවා පමණක් දන්නා ජීවය හා මරණය අතර සබැඳියාවක් එම රේඛාවල තිබුණි. හෝයි ගේ අදහස වූයේ එය ඒ ආකාරයෙන් සිදුවිය නොහැකි බවයි.
රැකවරණයක් නොමැතිව, ස්වාමිපුරුෂයාගේ අනවබෝධයෙන් සිදුවූ සමීප උපත් දෙකකට හෝයි දායක වූවා ය. එක සැත්කමකින් පසු උදරයේ කැළැල් ඇති විය. ඒවා එලෙසින්ම තබා ගැනීමට හෝයි අකමැති වූවත්, මරණයෙන් හැරෙන්නට ඒවා මකා දැමීමට ඇයට නොහැකි වනු ඇත.
දියණිය ‘කා රොට්’ හා ‘සු හාවෝ’ පුතා ඇයගේ උරහිස් නැමීමට තරම් බරින් යුක්ත වූහ. මේ වනවිට ඇයට වයස අවුරුදු තිහක් හෝ ඊට වඩා මඳක් වැඩි විය යුතු ය. නළලෙහි ගැඹුරට පිහිටි රැළි හෝයි විඳි වෙහෙස මහන්සිය කොපමණදැයි කියා පෑවේය. ඇයගේ සිනහව හොඳින් ඉස්මතු වූයේ දරුවන්හට පොතපත කියා දීමේ දී හා කෑමට දිරිගැන්වීමේදී පමණි. හැකි සෑම අවස්ථාවකදීම දරුවන් සනසාලීමට හෝයි වෙහෙස වූවාය.
දිනෙන් දින ගෙවී ගිය ඇයගේ ජීවිතය සන්ධිස්ථානයකට පැමිණ තිබුණි. සමහර අවස්ථාවලදී හෝයි නිවස පිටුපස වතුර භාජනයකින් තම ඡායාව දෙස බලා සිටියාය. තමා හා දරුවන් ගතකරන ජීවිතය කුමක්දැයි හෝයි තමාගෙන්ම ප්‍රශ්න කළාය. ඇයට කිසිදු අසනීපයක් ඇති බව පෙනෙන්නට නොතිබුණි. දුක සහ වේදනාව දරාගනිමින් ඈ සියලු දෙයටම මුහුණ දුන්නාය. ඇයගේ උරහිස් අස්ථි හා ගෙල අතර ගැඹුරු කුහර මෙන් දිස්විය. දිලිසෙමින් පැවති දිගු කෙස් හැඩපලු ගෙතී දුර්වර්ණ වී තිබුණි. ඇය බෙහෙතක් නොගෙන නොසිටි දවසක් හෝ නොවූ තරම් ය.
බොහෝ රාත්‍රීන්හි මත්පැන් දුගඳ නිවස පුරා පැතිර ගියේය. ස්වාමිපුරුෂයාගේ ගොරවන හඬින් බියට පත්වී අඬන බාල දරුවා සැනසීමට ඈ මහත් වෙහෙසක් ගත්තාය. එහෙත් ඔහුගේ අවධානය ඒ කෙරෙහි යොමු වූයේ නැත.
එකල පාසලේදී හෝයි ගණිතය පිළිබඳව එතරම් දක්ෂතා නොපෙන්වූ නමුත් සාහිත්‍යයට දක්ෂතාවක් දැක්වූවාය. ඇයගේ ගුරුවරිය බොහෝ අවස්ථාවලදී ඇයට පැවසුවේ සාහිත්‍යය වෘත්තියක් කරගතහොත් ඇයගේ ජීවිතය සිහිනයක්ම වනු ඇති බවය. සියල්ල වෙනස් විය. ඈ විශ්වවිද්‍යාලයට ඇතුළත් වූවාය. සාහිත්‍යය විෂය හැදෑරූ පසුව ඇය ලේඛන කටයුතුවලට සම්බන්ධ වූවාය. හෝයි තම දරුවන් පෝෂණය කිරීමට යම් මුදලක් උපයා ගත්තේ එමගිනි. ඔහු මාසිකව දෙන මුදල දෙසතියකට හෝ ප්‍රමාණවත් නොවුවද ස්වාමිපුරුෂයාගෙන් මුදල් ඉල්ලා ගැනීමට ඈ අකමැති වූවාය. එහෙත් තමා එය ලබා නොගතහොත් ඒ සියල්ල ඔහු තමා වෙනුවෙන්ම වියදම් කරගනු ඇතැයි හෝයි අවබෝධ කරගෙන තිබුණි.
ඇයගේ දස අවුරුදු විවාහ සංවත්සරය සැමරීම සඳහා සැමියාගේ ප්‍රියතම අවන්හල වෙත කැඳවාගෙන ගිය දිනය ඇයට සිහිපත් විය. කුඩා පුතා සහ දියණිය සමගින් ඔවුන් දෙදෙනා මේසය වටා අසුන් ගත්හ. එක් තරුණියක් සැමියා අසලට පැමිණ සිනාසෙමින් ඇයගේ ඉඟ ගැස්සුවාය. තවත් තරුණියක් පෙනී සිටියේ ඇයගේ ළමැද හා පියයුරු එළියට විවෘත වන සේය. සැපයූ ආහාරවලට ඈ ප්‍රිය නොකළාය. සේවිකාවන් තම ස්වාමිපුරුෂයා ඉදිරිපිට හැසිරුණ ආකාරය ඇයගේ දෑසට ඉතා අප්‍රසන්න විය. තරුණියන්ගේ හැසිරීම කෙරෙහි හෝයි තම සැමියාගේ අවධානය යොමු කළේ දරුවන් දෙදෙනා ද ළඟ සිටින බව හඟවමිනි.
“කිසි ප්‍රශ්නයක් නැ… ඒක බිලට ඇතුළත් වෙලා තියෙන සේවා ගාස්තුවෙ කොටසක්. ඒ නිසා අපි හදවතින් ඒවා භුක්ති විඳිමු!”
“ගණන් ගන්න එපා. එයාලා අපිව සතුටු කරනවා… කෑම කන්න..!”
තවත් අවුරුදු දහයක් හෝ විස්සක් ඔහු සමඟ ජීවත්ව සිටියහොත් නැවත කිසි දිනෙක එවැනි සැමරීමකට නොයන බවට හෝයි තීරණය කළාය. ගර්භාෂයේ සිටින තම දරුවා වෙනුවෙන් හෝයි එම කරුණ සිත තුළම තබා ගැනීමට සිතුවාය. උදරය ස්පර්ශ කරන සෑම අවස්ථාවකදීම දික්කසාද අයදුම්පත ඇයගේ මනසින් මැකී ගියේය. අවන්හල්වල සිටින තරුණියන් මෙන් ඔහු ඉදිරියේ සරාගී ලෙස හැසිරීමට ඈ අකමැති වූවාය.
ගෙදර සිටින අවස්ථාවන්හිදී ඔහු ඇයව සමච්චලයට ලක් කළේ ඒ යුවතියන් ගැන පවසමිනි. සැමියාගේ හැසිරීම පිළිබඳ වූ ඇයගේ පිළිකුල පැවසීමට හෝයි අකමැති වූවා ය. ඇය තුළ සරාගී හැඟුමන් නොතිබුණි. නිවසට පැමිණි පසු හෝයි කල්පනා කළේ තමා නැවත ගැබ් ගැනීමට තරම් නොසැලකිලිමත් වූයේ මන්ද යන්නයි.
දිනක්, හුස්ම ගැනීමට අපහසු වීමෙන් ඈ ක්ලාන්ත වූවාය. හෝයි ගේ මව ඇය අසලින් වාඩි වී ගැඹුරු සුසුමක් හෙළුවාය.
“මං හිතුවේ මගේ ඉරණම නරකයි කියලා. නමුත් ඔයාගෙ තත්ත්වය ඊටත් වඩා නරකයි.”
හෝයි තම දෑස්වලින් පිටවන කඳුළු පාලනය කිරීමට උත්සාහ කළාය. දරුවන් සමඟ උදෑසන ආහාර ගන්නා සෑමවිටම ඇයට වමනය ඇතිවිය. නිදි පැදුරේදී සැමියා අසලින් වහනය වන දුගඳ ගැන මෙනෙහි කළ ඈ ඔහු අසල සිටීමෙන් වැළකීමට උත්සාහ කළාය. සැමියාගේ යතුරුපැදියේ හඬ ඇසුණු විගසම තම පියා වෙනුවෙන් ආහාර පිළියෙල කරන ලෙස ඈ නිතරම දියණියගෙන් ඉල්ලා සිටියාය. එක් රාත්‍රියක ඇය දොරේ අගුළු නොදමා තැබුවාය. පසුදා උදෑසන ඔහු ඇයට බැණ වැදුණේය.
“ඔයා දොරේ අගුළු දැම්මේ නැත්තෙ ඇයි? හොරෙකුට වුණත් ඇතුළට එන්න තිබුණා.”
“මායි ළමයි දෙන්නයි ඇරුණම, මේ ගෙදර හොරෙකුට වටිනා දෙයක් තියෙනවද?.”
මොහොතක් ඈ දෙස රවා බලා සිටි සැමියා අනතුරුව බැහැර ගියේය. ඔහුගේ කමිසයේ තොල් ආලේප තැවරී තිබෙනු දුටු නමුත් ඇය එය නොසලකා සිටියේ, වසර ගණනාවක් තිස්සේ ඔහුගේ අනාචාර කටයුතු ගැන නිහඬව සිටි ලෙසමය. උගත් කාන්තාවක ලෙස, පවුලේ වාතාවරණය නරක් කරගැනීමට ඇයට අවශ්‍ය නොවීය. එදින මුළු රාත්‍රිය පුරාම සඳ බැබළිණි. විසල් අහසෙහි ඈතින් දිදුලන තාරුකා එළි කිහිපයක් පමණක් දැකගත හැකිවිය.
වලාකුළු මධ්‍යයේ මියයෑමට මොහොතකට පෙර ඒවා අහස ආලෝකමත් කිරීමට උත්සාහ කරන බවක් පෙනෙන්නට තිබුණි. ඇයගේ පුත් සු හාවෝ සමඟ අනාගත දරුවා ටෙලිපති සංඥා කරන බවක් ඈ සිතුවාය. ඇයගේ කුස තුළ වැඩෙන ජීවය ගැන ඈ බොහෝ වාරයක් සිහින මැව්වාය. දරුවා පිළිමයක් මෙන් ගොළු වී ඇගේ ඇඟිලි තදින් අල්ලාගෙන සිටින බවක් ඇයට දැනුණි. නමුත් එය සම්පූර්ණයෙන්ම දැකීමට ඇයගේ ප්‍රතිපත්ති ඇයට බාධා කළේය.
“හඳ එළිය බලන්න මාව එක්ක යන්න පුළුවන්ද?”
ඈ තම දරුවා ගැන සිහින මවන සෑමවිටකම සඳ දෙස බැලීමට රැගෙන යන ලෙස සු හාවෝ නිරන්තරයෙන් ඇයගෙන් ඉල්ලා සිටියේය. සමහර අවස්ථාවලදී හෝයි දුටුවේ වීදුරුවක් කැඩී බිඳී යන ආකාරයෙන් අහසෙහි සඳ පුපුරා යන බවකි.
හදිසියේම ඇයට බොහෝ අපහසුතා ඉස්මතු විය. ගෙවී යන සෑම දිනකම හෝයි ගේ බඩ විශාල විය. හදිසියේම ඇයට දිනකට කිහිප වතාවක් නාසයෙන් ලේ ගැලීමක් ඇති විය.
“අපි ඉස්පිරිතාලෙට යමුද… මගෙ දුවේ…? දැන්ම කියන්න දුවේ! බඩේ ඉන්න දරුවා ගැන හිතලා බලන්න.” හෝයි ගේ මව ඇයගෙන් විමසා සිටියාය.
තම සැමියා තමාව වෛද්‍යවරයකු වෙත රැගෙන යන තෙක් හෝයි බලා සිටියාය. එය නිෂ්ඵල විය. ඔහු දැන් දින කිහිපයක සිට නිවසට පැමිණියේ නැත. නිකරුණේ ගෙදර සිටින අවස්ථාවේදී දර කොටයක් මෙන් නිදා ගත්තේය. තමාට තවත් දරුවෙක් ලැබෙන බව ඔහු දැන සිටියේ නැත.
තම බිරිඳ ගැබ්ගෙන ඇති බව නැන්දම්මා කියනු ඇසූ ඇයගේ සැමියාට ඔහුගේ දෙසවන් අදහාගත නොහැකි විය. හෝයි ගේ දෑස වටා සම නිල්පාටට හැරුණි. නාසයේ ලේ කැටි දෙකක් නිසා ඇයට හුස්ම ගැනීමට අපහසු විය. තමාව රෝහලට ගෙන යන ලෙස හෝයි තම සැමියාගෙන් ඉල්ලා සිටියාය.
ස්ටේරචරයක් මත වැතිර සිටියදී ඔහු මැසිවිලි නඟන හඬ ඇයට ඇසුණි.
“දෙවියනේ! ඇයි ඔයා ඔච්චර මෝඩ? මොන දුකක් ද?”
මේ අවස්ථාවේ ඔහු වෙත කිසිවක් පැහැදිලි කිරිමට හෝයි ට දැන් නොහැකිය. ඇය දැන් ඇයගේ ලස්සන දරුවා බිහිකිරිමට යමින් සිටියාය. ඒ හුරුපුරුදු අළු පාට වලාකුළ ඇයගේ දෑස ඉදිරිපිට අහස කෙළවරේ දිස්විය. ඒ සමගින් සැමියා වෛද්‍යවරිය ඉදිරියේ කෑගැසුවේය.
“ඔයාට පිස්සුද? එයාට බබෙක් ලැබෙන්න ඉන්නෙ… ඔයා කොහොමද කියන්නේ එයාට පිළිකාවක් කියලා?”
වෛද්‍යවරිය බියෙන් වෙව්ලමින් ඔහුව පසෙකට තල්ලු කළා ය.
“ඇත්තටම මට කනගාටුයි. මේ පරීක්ෂණ ප්‍රතිඵල දිහා බලන්න. එයාව වේලාසනින් ම අරගෙන ආවා නම් තත්ත්වය මීට වඩා හොඳ වෙන්න තිබුණා.”
තම ස්වාමිපුරුෂයා දිරාපත් වූ ගසක් මෙන් බිම වැටෙන අයුරු හෝයි දුටු නමුත් පසුගිය වසර දහය තුළ කළාක් මෙන්, දැන් ඔහුව සනසන්නට ඇයට නොහැකිය. අහස කෙළවර හුදෙකලා වූ සඳ දෙසට තම සීතල දෑත එසවීමට හෝයි වෙර දැරුවාය.
https://divaina.lk/%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B6%BA%E0%B6%B1-%E0%B7%83%E0%B6%B3/