රූපාන්තරය
සුනන්ද එරංග පෙරේරා
සිරිතුංග තම බිරිය ව නින්දිත සහ තුච්ඡ ලෙස මරා දැමිය යුතු යැයි අවසන් වශයෙන් තීරණය කළේ ය.
මැදියම් රාති‍්‍රයට ළංවෙමින් පැවැති අවට තිබුණේ මිනීමැරුමකට උචිත පරිසරයකි. රාති‍්‍රය මූසල ගන අඳුරෙන් යුක්ත විය. හිරිකිත වැහි පොදයක් අඳුරේ වැටුණි. දුරින් අලුතෙන් ඉදිවන ගෙවල් අතරින් ගලාගිය සුළඟේ තිබුණේ රාති‍්‍රයේ නැවුම් බවක් නොව අමුකොළ ගඳක් සමඟ පහළ පුරන් කුඹුරු යායෙන් නැගි පිළී ගඳකි. එසේම ඒකතානමය විපරීත ප‍්‍රකම්පිත බවකි.
සිරිතුංග සිටියේ මේසය ළඟ පුටුවේ වාඩිවෙලා ය. ඔහුගේ හිස තවමත් බමයි. මඟුල් ගෙදරදී තම බිරියට කූට්ටාලි වී සිටි පරයා තමාට අරක්කුත් බියරුත් හොඳ හැටියට පොවා තිබුණි.
“ගන්නකො අයියෙ තව ටිකක්” පරයාගේ ඇස්වල තිබුණේ තරුණ ආඩම්බර කමකි. ඌ තමා ව මැටි බූරුවකු වශයෙන් සිතනවා විය හැකිය.
බත් පිඟානක් ගිල දමා අයිස්කී‍්‍රම් බඳුනක් අතින් ගෙන මේ වල් පරට්ටිය එතැනට පාත්වූයේ ඒ මොහොතේදීය.
“රාජු මල්ලියෙ” වල් බැල්ලි කතා කළ අයුරු සිරිතුංගට සිහිපත් වේ. ඇගේ අඳුන් උලන ලද දෙතොල් හිනාවෙන් යුක්ත වූ අතර දෙකම්මුල් වළ ගැසුණි.
පරයා පැනපු ගමන් කළේ මේකි ව තුරුලු කරගෙන කම්මුලට කම්මුල තබා ගැනීමයි. ඌ යළිත් ඇගේ උරහිස් දෙකෙන් අල්වා මඳක් දුරස් කර බලා හිඳ යළිත් මේකි ව වැලඳ ගත්තේ ය.
සිරිතුංග කළේ අමු අරක්කු වීදුරුවක් කට පෙත්තට පුරවා එක හුස්මට ගිල දැමීමයි.
සිරිතුංග විසින් මේ රාති‍්‍රයේ ස්ථාපිත කරන ලද අධිකරණයේ සියලු තීන්දු නිගමන දැන් ලබාගෙන අහවර ය. එහි පැමිණිලිකරුවාත් විනිසුරුවරයාත් වූයේ ඔහු ම ය. හැම චෝදනාවක් ම ඔහු සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළේ ය. ජූරි සභාවේ තීන්දු නිගමනත් ඒකමතික ය. අවසන් විනිශ්චය වූයේ බිරිඳ යැයි හඳුන්වන මේ ගැහැනිය තුච්ඡ සහ නින්දිත ලෙස මරා දැමිය යුතු ය යන්න ය.
එහෙත් ඒ හැම දෙයක් ම යළි යළිත් ආවර්ජනය වනුවේ තමා ගත් නිගමන තවදුරටත් සාධාරණය කිරීමට නොවේ ද? හිතේ අමාරුවට සිරිතුංග අන්තිමට බිව්ව අරක්කු වීදුරුවෙන් කරටි කැඩී යන්නට වැදුණි. ඔහු මගුල් ගෙදරින් බත් නොකෑවේ ය. අජිනමොටෝ කප්පරක් දැමූ බයිට් එකේ කරි චිකන් කටුවලට කටත් හම ගෙහුං ය. එය මගුලක් නොව අළුගුත්තේරු අවමඟුලකි.
මගුල් ගෙදරින් ආපසු ගෙදර ඒම සඳහා තී‍්‍රවීලරයකට කථාකොට ගෙන්නා දුන්නේ ද රාජු ය. ඌ තමා ව වත්තම් කරගෙන තී‍්‍රවීලයේ වාඩි කරවූයේ ය.
“සිරි අයියට අමාරු නෑනෙ?” පරයා ඇසුවේ ය.
“පිස්සුද මල්ලි”
“බතුත් කෑවෙ නෑ”
“මොන බත් ද? බයිට් කෑවෙ කරත්තයක් විතර”
මඟුල තිබුණේ රාජු ගේ මල්ලිගෙ හෝම් කමින් එකට ය. රාජු සිරිතුංගගේ බිරියගේ මහප්පා ගේ පුතා ය. කුඩා නගරයේ තැපැල් කන්තෝරුවෙ පියුං කෙනකු වීම නිසා කළ අපහාස හේතුකොට ගෙන සිරිතුංග බිරියගේ නෑ සනුහරේ ම දුරින් ම දුරු කළේ ය. මේ කසාද නිසා ඔහු තමාගේ බොහෝ නෑයන්ගෙන් හුදකලා විය.
බිරියගේ නැන්දා කෙනකු ඒ දිනවල තමාට අපහාස කර තිබුණේ අන්තිම පහත් ලෙස ය. අළුගුත්තේරු වාමන පියුම ඉටි රූපයක් වැනි තමුන්ගේ කෙල්ල රවටා ගත් බව ඇය කියා තිබුණි. ඇගේ අපහාසයේ විශේෂණ සඳහා සත්ත්ව ලෝකයෙන් හෝතම්ඹුවා ද තමන් කිසි දිනෙක දැක නැති මූකලන් බස්සා ද භාවිත කර තිබුණි.
“මහප්පලනෙ. ඒ කවුරුවත් අපිට කවදාවත් වෙනස්කමක් කළේ නෑනෙ. නොගෙහුං හොඳයැ.”
සිරිතුංග කිසිවක් නොකියා බලා සිටින විට බිරිය යළිත් මෙසේ කීවා ය.
“අපේ අම්ම උණත් පොළේදි හම්බු වෙලා ඇහුවෙ ඔයා ගැනමයි.”
මරා දැමීමට නියමිත ව සිටින බිරිය තමා මේ මඟුලට පොලඹවා ගත්තේ එසේ ය. විවාහ වී තුන් අවුරුද්දක් ගෙවී ගියත් බිරිය එකී පොලඹවා ගැනීම සිදු කළේ තමා ව තුරුලු කර ගැනීමෙනි. ඇගේ හුරුතලය තවමත් නොනැසී ඇත්තේ ඇය අවලං ගැහැනියක් නිසා ය. දරුවකු හදා ගැනීමට වත් ඇය උනන්දු නොවන්නේ ඊට බාධාවක් වන නිසා විය යුතුය.
තමාට වාරු නැති වුවත් සියල්ල ම සිතිය හැකි යැයි සිරිතුංග එමින් ගමන සිතුවේ ය. රතු ටී ෂර්ටයක් ඇඳ කළු කබායක් පැලඳ සිටි රාජු සහ තමා අතර ඇත්තේ අහසට පොළොව වගේ වෙනසකි. එහෙම නම් මිටි මහත මඳක් හිස කෙස් ගිය තමන් මේ ගැහැනිය මවුපියන් ද අතහැර දමා බැඳගත්තේ ඇයි? ඒ තමාගේ ස්ථිර රැකියාව නිසා විය හැකිය. නැතහොත් තමාව මැටි මෝලකුට අන්දවා තමන්ගෙන් යැපෙමින් මළ නඩලං සියල්ල ම නැටිය හැකි නිසා විය යුතුය.
විවාහයට දෙපැත්තේ ම මවුපියෝ විරුද්ධ වූහ.
"ඕකි කලින් දෙතුන් දෙනෙක් එක්ක දපල කරන්න දෙයක් නැති කමටයි ඔය උඹත් එක්ක ටැක් ගැහෙන්න මානන්නෙ” සිරිතුංග ගේ ලොකු ම අක්කා කීවේ එසේ ය.
සිරිතුංග ඒ හැම දෙයක් ම ඉක්මවා සිතුවේ ය. ගැහැනියක වශයෙන් ඇය තමාට කැමැති වීම ආඩම්බරයකි. උසැති සිහින් කයක් තිබූ ඇය කෙබඳු ඇඳුමක් ඇන්දත් සුන්දර ය. ඇගේ දෙනෙත් පිබිදිලා ය. උල් දිගටි මුහුණ පැහැපත් ය. පියයුරු පිරිපුන් ය.
තනි කැමැත්තෙන් විවාහ වූ සිරිතුංග නගරයෙන් ඈත බස් නොයන පාරක වෙන්දේසි ඉඩම් කෑල්ලක් ගෙන බ්ලොක් ගලෙන් පොඩි ගෙයක් තනා බිරිය සමග එහි පදිංචි විය. ගේ තාම කපරාරු කර නැත.
බිරිය තමාගේ සියලු රුචිකත්වයන් එක මොහොතින් පැහැර ගත්තා ය. ඇය ගේ ඇඟ මස කිසි දිනෙක ඔහුට එපා නොවීය. ආඩම්බරකම සමඟ අඳුරේ බොහෝ හැඟීම් ඇති ව ඇයට තුරුලු වන ඔහුගෙන් ඇය විටෙක මෙසේ අසන්නී ය.
“ඉතින් ඔයා නිදාගන්න ද?”
එවැනි විටක සිරිතුංග ගේ සිතට උපදින්නේ පරාජිත හැඟීමකි. ඒ හැඟීම සමඟ තමාව තම බිරියට මදි පුංචි වෙතැයි ඔහු සිතුවේ ය. එහෙත් ඇය තමා ව ඉවසන්නේ අනෙකකු සමඟ රහසිගත සම්බන්ධකමක් ඇති නිසා නොවේ ද? තමා සමඟ කඩයට ගියත් මුදලාලි සමඟ ගනුදෙනු කතා කරන්නේ ඇය ය. තමා සිටියදී තමා ඉක්මවා යමින් පිරිමින් සමඟ දොඩන්නේ ඇය ගේ නොතිත් ආශාව නිසා විය නොහැකි ද?
තම මිතුරන් තම බිරිය දෙස බලන්නේ කෑදර සිතින් බව සිරිතුංග දන්නේ ය. ඇය ද තම මිතුරන් සමග දොඩන්නේ සමීප ව ය. ළෙන්ගතුව ය. එය මුළුමනින් ම වෛශ්‍යාවගේ ලක්ෂණයකි.
තී‍්‍රවිලයේ එන සිරිතුංග ගේ සිතට නැගෙන්නේ ක්ෂණික ව බිඳී බිඳී යන සිතුවිලි ය. දුර ඈත දේවල් පවා ඔහුට සිහිපත් වී බිඳී යළිත් අලුත් යමක් සිතේ. ඒ සියල්ල මැද්දේ තම බිරියගේ කම්මුලට කම්මුල තබා හාදු දෙන මහප්පාගේ පුතා යැයි සම්මත රාජු පරයා ය. ඌ ගැහැනුන් දෙදෙනකු ම අඹුකමට ගත් නොසංඩාලයෙකි.
“රාජු දෙවෙනි කෙනාගෙනුත් දික්කසාද වුණා නේද?”
සිරිතුංගේ බිරිය විස්මයෙන් තී‍්‍රවිලයේ රියැදුරා දෙසත් සිරිතුංග දෙසත් බැලුවා ය. මතක ඇති කාලයක ඔහු මෙතරම් බීමත් ව සිටියේ නැත. එහෙත් ඈ පිළිතුරු දුන්නා ය.
“නෑ. මාස තුනක් විතර වෙන්වෙලා ඉඳල ආයෙ එක් වුණා. ඔයාට මතක නෑ. ඒ දවස්වල මං කිව්වෙ අපේ ගෙදරත් දෙවතාවක් ඇවිදිං ගියා කියල.”
තී‍්‍රවිලය වංගුව ගෙන ගේ පැත්තට හැරෙන විට සිරිතුංග තම සිතුවිලි නවතා ගනිමින් හයියෙන් අල්වා ගත්තේ ය.
“හයර් එක කොහොම ද?” බිරිය අත්බෑගය දිග හරිමින් අසයි.
“එපා නෝන. රාජු මහත්තයාගෙ හයර් එකක්නෙ. මං ඒක එහෙමම බේර ගන්නම්”
සාරි බාරි ගලවා දමා ඇඟපත හෝදාගෙන නයිටියකින් සැරසී නිදන්න සූදානම් වන බිරිය අසන්නීය
“ඔයාට කෝපි එකක් හදල දෙන්න ද?”
බිරිය ළිඳෙන් වතුර ඇද ඇඟපත හෝදාගත්තේ ගීතයක් ගායනා කරමින් ය. අරූ කම්මුලට කම්මුල තැබූ නිසා ඒකිට සන්තෝසය උතුරනවා ඇත.
“එපා ඔයා නිදාගන්නකෝ” සිරිතුංග කීවේ ය.
බිරිය ඉක්මනින් ම නින්දට වැටුණු පසු සිරිතුංග තම ඒක පාර්ශ්වයීය අධිකරණය පිහිටුවිය. විනිසුරු අසුනේ වාඩි වූ සිරිතුංග තම බිරිය දෙස බැලුවේ ය.
“නැගපං පාහර බැල්ලි විත්ති කූඩුවට”
තමා වැඩට ගිය පසු ගෙදරට එන්නේ රාජු ය.
සියලු පරිසරය උන් දෙන්නාට ගැළපෙන ලෙස නිර්මාණය වී තිබෙන්නට ඇත. ළඟ ම ඇති ගෙදරත් මිනිහ වැඩට ගිය පසු ඉතිරි වන්නේ පොඩි යස්ස පැටව් දෙන්නෙක් පිරිවරා ගත් ගැහැනියකි. ඒකිගෙ වැඩේ උදේ හිටන් මල් කඩමින් අටවිසි බුද්ධ පූජා පවත්වන එක ය. රාජු මේකිගෙ බඳ වටා අත දමා හෙමිහිට කාමරයට රැගෙන යන්නට ඇත. මේකිත් පැනපු ගමන් ඌට කැමැති වන්නට ඇත.
ඇය තමාගෙන් අහන “ඉතින් ඔයා නිදා ගන්න ද” යන ප‍්‍රශ්නය නොඅසන්නට ඇත. මේකිගෙ නැන්දා කියූ ලෙස තමා හෝතඹුවෙකි. මූකලන් බස්සෙකි.
ඒත් මේ මූකලන් බස්සාගේ හැටි ඇය තාම නොදනී. තමා හොඳට හොඳ ය. නරකට නරක ය. දැන් ඇත්තේ නරක ය. තමා අමු සාහසිකයකු බවට පත් කරමින් සිටින්නේ මේකිගෙ ඇවතුම් පැවතුම් නොවේ ද?
සිරිතුංග ගේ ඇඟපත හිරිවැටී වෙවුලා යන විට ඔහු තම අවසන් විනිශ්චය වූ මරණීය දණ්ඩනය තම බිරියට පමුණුවා තිබුණි.
මෙවැනි වල් ගැහැනියක මරා දැමිය යුත්තේ නීච ලෙස ය. ඇයගේ බෙල්ල මිරිකා දමන්නේ නම් එය සැහැල්ලු මරණයකි. ඒ වෙනුවට මුළු ශරීරයම කපා කොටා දැමිය යුතු ය. කිසිවෙකුට නොඅසුවන්නට කෑල්ලෙන් කෑල්ල පුලුස්සා දැමිය යුතුය.
මිනී මැරුමකට පසුබිම් වීමට තිබු මේ රාති‍්‍රයේ අඳුර දිගේ බොහෝ දුර ඈත සිට ඉඳහිට වේගයෙන් සුළඟ හමයි. ඇහෙන නෑහෙන හඬින් තිබූ යක් බෙර හඬක් එවිට විටින් විට නැඟේ. බෙර හඬේ තිබුණේ වේගවත් ගමන් තාලයකි.
සිරිතුංගගේ සිතට උපදින්නේ බාල කාලයේ සිට අනන්තවත් දැක ඇති තොවිල් ගෙවල් ය. විලක්කු අතින් ගත් යකැදුරෝ වේගයෙන් නටති. බෙර කාරයන් හිස් වනමින් ඇඟ නටවමින් බෙර ගසති.
ආතුරයා තම බිරිය ය. පන්දම් එළියෙන් ඇගේ මුහුණත් ළැමත් දහදියෙන් දිලිහේ. ප‍්‍රලය වී සිටින ඇය නැගී සිටියත් ඇය ගේ එක් පාදයක් බෙහෙවින් නිරුවත් ය. වටකුරු ඇගේ පාදය ඇත් දළ පාට ය.
අන්ධකාරය පි‍්‍රයකරන සිරිතුංග පහනේ දැල්ල වැඩි කර අසුනෙන් නැගී සිටියේ ය.
“ඇයි මේ?” බිරිය නින්දෙන් ම අසන්නී ය.
“ඇයි කියල අහන්නෙ?” කිසි දිනෙක නොඇසූ ලෙස සිරිතුංග දැඩිව කියයි.
“ඔයාට අද හොඳට ම වැඩියි” නිදිමත ඇසිපිය සලමින් බිරිය සිරිතුංග ගේ බෙල්ල වටා දෙඅත් යවමින් කියන්නී ය.
උඩබැලි අතට හැරී නිදා සිටි සිරිතුංග පිබිදුණේ බිරිය කතා කරන හඬින් ය. තේ කෝප්පය මේසය මත තැබූ ඇය වතුර වීදුරුව සිරිතුංගට දිගු කළා ය.
“නිවාඩු දවස හින්ද හොඳයි. දැන් නමයයි”
විස්මයෙන් තම බිරිය දෙස බලා සිටි සිරිතුංග ජනේලය හැර දමා කට සේදුවේ ය.
“ඊයෙ වැඩි වුණා නේද?” බිරියගේ හඬේ ඇත්තේ ළෙන්ගතු සුරතල් ස්වරයකි.
උණුහුම් තේ උගුරක් බොමින් ම ඊයේ තමා මඟුල් ගෙදර ඇඳගෙන ගිය ඇඳුම් ළිඳ ළඟ හෝදමින් සිටි බිරිය ළඟට සිරිතුංග ගියේ ය.
“රාජු මල්ලිගෙ ගෙවල් කොහේ කියල ද කිව්වෙ?”
“ටවුමෙ කනිෂ්ඨෙ ගාව තියෙන පාර පළමුවැනි ගේ.” බිරිය රෙදි හෝදමින් ම කියයි.
ක‍්‍රමයෙන් දැඩි වන හිරු එළිය ප‍්‍රබෝධමත් ලෙස ගහකොළ මත වැතිරී ඇත.
“ඌ හොඳ එකා. ලබන ඉරිද අපි එහෙ යමු.” සිරිතුංග කීවේ ය.
https://archives.silumina.lk/punkalasa/20110703/_art.asp?fn=ar1107033
"කාන්ති තමුසෙත් මේවට වග කියන්න ඕනෑ. මම උදේ රස්සාවට ගියහම රෑට ගෙදර එන මිනිහා. තමුසෙට ගෙදර ඉඳලවත් බැරි වුණානෙ මේ යකාව හදාගන්න...” සුරවීර සාලය හරහා එහාට මෙහාට සක්මන් කරන්න විය. ඔහුගේ මුහුණේ වූයේ කෝපය හා රැඳුණු ආත්මානුකම්පාවකි. කාන්ති සාලයේ සිට ගේ තුළට ඇතුළු වන උළුවස්සට හේත්තු වී සිටියාය. ඇයගේ මුහුණෙහි වූයේ පරාජිත පෙනුමකි. ඇයගේ බැල්මෙහි දිස් වූයේ හිස් බවකි.
“මම සමන්ත පුතාට කීවා. ඔය කටුපිටිය උන්නැහැලගෙ ගෙදර යන එන බව දැනගත්තහම... ඕවා ඉගෙන ගන්න එක නතර කරන්න කියලා...” කාන්ති තම සැමියා ඉදිරියේ තමාගේ නිර්දෝෂී බව පෙන්වීමට බොල් උත්සාහයක නියැළුණාය.
“තමුසෙට තිබ්බ මේ යකා කටුපිටියලගෙ ගෙවල් පැත්තෙ යන බවක් මට ඉස්සෙල්ල කියන්න. අනික මේ යකාට තියෙන වුවමනාව මොකද්ද ගම් මැද්දෙ යන්න.” සුරවීර සාලයේ අයිනකට වන්න තබා තිබූ කවිච්චිය මත ඉඳගත්තේය. නිමේෂයකට නිවස තුළ නිශ්ශබ්දතාව රජයන්නට විය.
“සමන්ත මෙහෙට එනවා...” සාලයට යාබද තමන්ගේ කාමරයේ ඇඳේ හාන්සි වී පොතක් කියවීමට යත්න දරමින් සිටි සමන්තට තම පියාගේ අණ කිරීම නොඇසුණා නොවේ.
“සමන්ත එක සැරයක් අඬගැහුවහම මගෙ යකා අවුස්සන්නැතුව මෙහෙට වරෙන්...” සුරවීරගේ කෝපයට නිම්හිම් නැති විය.
සමන්ත කාමරයෙන් පිට විය. සන්සුන් ගමනින් විත් සාලයේ පසෙකින් වූ පුටුවක වාඩි විය. ඔහුට කෙළින්ම තම පියාගේ මූණ දෙස බැලීමට පි‍්‍රයතාවක් නොවීය. ඔහු ගේතුළට ඇතුළු වන උළුවස්සෙන් පිටත බැලුවේය. ගුරු පාරෙහි කිසිවකුත් නොවීය.
සුරවීර කෙළින්ම තම පුතණුවන්ගේ මුහුණ දෙස බැලුවේ නොරිස්සුම් ගතියක් මවා පාමින්ය.
“සමන්ත මෙහෙ බලනව“ ඔහු කෝපය යටපත් කරගෙන ඇති බවක් පෙනුණි.
“සමන්ත, මං මේ කියන දේ හොඳට තේරුම් ගන්නව. මං තමුන් ගමේ කොලු කුරුට්ටන් පස්සේ ගමේ ඉස්කෝලෙට යවන්නැතුව ටවුමෙ ලොකු ඉස්කෝලෙකට දාලා ඉගැන්නුවේ තමුන් ලොකු මහත්තයෙක් කරන්න හිතාගෙන. තමුනුත් හොඳට ඉගෙන ගත්ත. ඒත් මං හිතාගෙන හිටියෙ ඔයා විද්‍යා අංශයෙන් කැම්පස් යවන්න. ඒකත් කමක් නෑ. තමන්ට පුළුවන් විදියට කලා විෂයයන් කරලා උපාධියකුත් ගත්තනෙ. තව ටික දවසකින්ම අපේ ඔෆීස් එකේ ම මං කීව රස්සාවත් හරියයි. එතකන්...”
"තාත්ත ඇප්ලයි කරපු රස්සාවට මං කැමති නෑ...” සමන්ත පියාගේ කතාවට හරස් කැපුවේය.
“මොකද්ද තෝ කීවේ?... උඹට සල්ලි වියදම් කරලා උගන්නන්න මට හොඳයි. මම බොහොම අමාරුවෙන් රස්සාවක් හොයලා දුන්නම ඒකට උඹ කැමති නෑ.”
සුරවීර හුන් තැනින් නැගී ඇඳ සිටි සරම කැහැපොට ගසා ගත්තේය. කාන්ති තවමත් පෙර හුන් ලෙසට ම කරබාගෙන සිටියාය. ඇය කළ යුත්තේ කුමක් ද? නොකළ යුත්තේ කුමක්දැයි නොදත්තාය.
“සමන්ත, උඹ හදන්නේ විහින් නැහෙන්න. දැන දැන ම ආය කිසිම දාක ගොඩ එන්න බැරි වළක වැටෙන්න. මතක තියා ගනින් සමාජයෙන් උඹට ගරු සැලකිලි, නම්බු නාම, ලැබුණේ බොහොම අමාරුවෙන්, මම උඹලගෙ ඇඟේ වදින්න තිබ්බ අළු වදින්න නොදුන්න හින්ද. උඹ සමාජෙට ආදරේ කරාට සමාජෙ උඹට ආදරේ නෑ...”
සමන්ත දෙසට කෝපයෙන් යුතුව ඇඟිල්ල දික් කරගෙන එක හුස්මට කියාගෙන ගිය සුරවීර සරමේ කැහැපොට කඩා දමා මුළුතැන්ගේ පැත්තට යන්න පය එසෙව්වේය. කාන්ති ද ඔහු අනුගමනය කරමින් ඉස්සර විය.
“ඔය ආසාව ටික දවසක් තිබිල ඇරිල යයි. අනෙක ඉතින් ඕක අපේ පරම්පරා ගාණක ඉඳලා ඇඟේ පතේ තියෙන එකක්නේ...” කාන්ති වතුර කේතලය ළිපේ තබන ගමන් කීවාය.
සුරවීර මුළුතැන්ගෙයින් පිටතට යාමට ඇති උළුවහු පියනෙන් ඈත එපිට ප්‍රදේශයට හිස් බැල්මක් හෙළුවේය.
කාන්ති කියු දෙයින් ඔහුගේ නෙත් ළිප දෙසට යොමු විය. ළිප මොළවා වැඩි වේලාවක් ගත වී නොතිබුණත් එයින් බුර බුරා ගිනිදැල් නැඟෙමින් තිබුණි.
“ඕක ඔය පරම්පරා ගාණක ඉඳලා එන හින්ද තමයි මං ඕකට අකැමති. අපේ අප්පච්චිලා, අත්තල ඔය රස්සාවල් කොරා. ගමේ උසස් ඇත්තෝ ඒගොල්ලන්ව පාගන්න, පාගන්න පෑගුණා මිසක් නැඟිට්ටෙ නෑ. ගම්යායේ ගෙදරකට ගියහම අපට ඉඳගන්න වෙනම පුටුවක්... වෙනම පිඟානක් කෝප්පයක්. අනික මං ඔයාට මේවා අමුතුවෙන් කියල දෙන්න වුවමනාවක් නෑනේ...”
සුරවීර කාන්ති දෙස බැලුවේය. ඇය ද ඔහුට මුහුණලා තබා තිබූ කොළොම්බු කැටයක වාඩි වී සිටියාය.
“ඒක නම් ඇත්ත තමා... ඒත් දැන් ඕක මුළු ලෝකෙම පිළිගන්න කලාවක්ලු. සමන්ත පුතත් එක්ක විශ්වවිද්‍යාලෙ ඉගෙන ගත්ත යාළුවෝ වගයක් ඔය බෙර ගැහිල්ලයි, නැටිල්ලයි හින්ද එංගලන්තෙ මහ රජ්ජුරුවන්ගේ මාළිගාවටත් එක්කගෙන ගියාලු."
“ඔය කොහොම කීවත් බෙර හදන, බෙර ගහන ඇත්තන්ට ඉස්සර අපේ අප්පච්චිලාගේ අත්තලගෙ කාලෙ පිළිගැනීම ම තමා රටේ තොටේ තියෙන්නේ. මූනිච්චාවට කවුරු කවුරුත් මොන මොනව කීවත් මඟුලක් තුලාවක් කොරන්ඩ ගියහම බලන්ඩ එපායැ...” සුරවීරගේ මුහුණෙහි වූයේ කලකිරුණු ස්වභාවයකි.
කේතලය පැසීමට වූ නිසා කාන්ති නැඟී සිටියාය.
“පුතාටත් ඉතින් ඕව තේරුම් ගියහම අපේ බහට අවනත වෙයි... අනික් අතට...”
“ඔහොම ගියොත් නම් අවනත වෙලා හිටී. ඒ වෙද්දි පෙරහැර ගිහින් තියෙයි. අනික කාන්ති ඔය යකා කැමති රස්සාවත් ඔය කෙහෙම්මල් බෙර කලාව උගන්වන්නලුනෙ. එතකොට ඉතින් අපි මේ තුලානෙ ඉඳලත් ඉවරයි.”
“අනේ මං දන්නෑ මොනව වෙන්න යනවද කියලා...” කාන්ති තේ කහට කෝප්පය සුරවීරගේ එක් අතකට දී අනෙක් අතේ කිතුල් හකුරු කෑල්ලක් තැබුවාය.
“අපි කොලු කාලෙ බැලුවෙ පෑගෙන්න පෑගෙන්න නැඟිටින්න. ඒ හින්දම අප්පච්චිල, අත්තල අපිට ඔය බෙර හැදිලි, ගැහිලි, තොයිල් නැටිලි උගන්නද්දි අපි ඒවා ඉගෙන ගන්නැතුව අනිත් මනුස්සයන් වගේ නම්බුකාර විදිහට සමාජෙ ඉන්න බැලුව. විද්‍යා අංශෙන් ඉගෙන ගත්ත. එහෙම කරලත් ගමේ ඈයො සැලකුවෙ පහත් කරලමයි. ඒකයි ගම් ගෙවලුත් අතහැරලා ටවුම ළඟට ආවේ. ඒත්...” සුරවීර තේ කහට උගුරක් බීවේය. කාන්ති රෑට පිසීමට හාල් කැටයක් ගරන්න පටන් ගත්තාය.
“මේ යෝදයා ගම්පැත්තේ ගිහින් ඔය කටුපිටියලගෙ පරම්පරාව අඳුන පඳුන ගත්ත එක තමා නුහුරට හිටියෙ. ඔය යක්කු තමා මූගේ ඔළුවටත් විෂබීජේ දාන්න ඇත්තෙ...” සුරවීර අවසන් තේ කහට උගුරත් බී ඉතිරිව තිබූ හකුරු කෑල්ල මුව තුළට දමාගෙන සරමෙන් ම අත පිස දමා ගත්තේය.
කිසියම් හදිසි වැඩක් මතක් වූවාක් මෙන් ඔහු ගේ තුළට යන්නට විය. ටික වේලාවකින් සුරවීරගේ වචන බිත්ති අතර දෝංකාර දෙන්නට විය.
“මම යනව කටුපිටියලගෙ ගෙදර. උන්දැට දෙකක් කියල එන්න... උන්ගෙ බෙර ගැහිල්ල උන්ගෙ උන්ටම උගන්නාගෙන ඉන්න කියන්න. අපේ උණ්ට ඒව ඕනෙ නෑ කියන්න...”
ගෙදර සිටි සියල්ලන්ටම ඇසෙන්න උස් හඬින් කී ඔහු ගෙයින් එළියට බැස්සේය.
“මේ... අපෙ මහත්තය කලබල වෙන්නැතුව ඔහොම පොඩ්ඩක් හිටිය නම්.” කරමින් හුන් කාර්යය නවතා කාන්ති සාලයට දුව ආවත් ඒ වන විටත් සුරවීර ගම් තුලාව දෙසට වැටී ඇති ගුරු පාරෙහි බොහෝ දුරක් ගොස් අවසන් වී තිබුණේය. ඇය උළුවස්සට හේත්තු වී ඔහු යන දෙස බලා සිටියේ දෙගිඩියාවකිනි. ගුරු පාරෙහි කෙළවරට වන්න පිහිටා තිබු සුවිසල් නුග ගස එවර ඇය දුටුවේ බොඳ වී ගිය සිතුවමක් ලෙසයි. නුග ගස පිළිබඳව ගම් තුලානේ නොයෙක් ආකාරයේ විශ්වාස විය. නුග ගස යටින් ගුරු පාර වැටී ඇත. සිය නිවසේ සිට බලන විට කෙළින්ම මේ නුග ගස දිස්වීම කාන්ති සැලකුවේ සුබ ලකුණක් ලෙසටය. තම පවුලත් තමා සතු කුඩා නිවසත් ආරක්ෂා කර දෙන්නේ මෙම නුග ගසෙහි අරක් ගෙන සිටින රුක් දෙවියකු විසින් බවට ඇය දැඩි සේ විශ්වාස කළාය. එම විශ්වාසය තුළ ඇය මුල් බැසගෙන සිටියාය.
තම පියාගේ රැකියාව වූයේ බෙර සෑදීම හා තොයිල් නැටීමයි. එම රැකියාව ඔහුට තම අත්තාගෙන් පැවරුණු එකක් බව කාන්ති දැන සිටියාය. තම පියා එම රැකියාව හිස් මුදුනින් ම පිළිගත්තෙක් විය. ගමේ පන්සලේත්, දේවාලෙත් විවිධ පුද පූජාවල හා තේවාවල බෙර ගැසීම, හක්ගෙඩි පිඹීම වැනි කාර්යභාරයන් සිදු කරනු ලැබුවේ තමා නෑදෑ පරපුර විසින් බව ඇය දැන සිටියාය.
එම පළාතේ මිහිඳු පෙරහර වාර්ෂිකව ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වාගෙන යන ලද්දේ ද ඔවුන් විසින් ම ය. ගම් තුලානේ කෙළි කොල්ලන්ට නැටුම් සහ වැයුම් හුරු පුරුදු කරන ලද්දේ ද කාන්තිගේ පියා විසින්ම ය. නමුත් මේවා පිළිබඳව කාන්ති දැක්වූයේ ඇල් මැරුණු ස්වභාවයකි. එයට බොහෝ දුරට හේතු වූයේ ගමේ උසස් යැයි සම්මත කුලවල ඇත්තන් ඇයගේ පවුලේ අය පහත් කොට සැලකීමයි.
“අපිට කැපෙන පවුලකින් ම කාන්ති දුව බලන්න අනිද්දට කට්ටියක් එනවා...” තමන් විවාහයක් ගැන නොසිතූ වකවානුවක කාන්තිගේ පියා සුබනේරිස් ගුරුන්නාන්සේ කියා සිටියේ කාන්තිගේ සිත තුළ අමුතු ම ආකාරයේ හැඟීමක් පැළපදියම් කරමිනි.
පියා එසේ කීව ද කාන්ති බැලීමට පැමිණියේ ආණ්ඩුවේ ඔපීසියක වැඩ රාජකාරි කරන මහතෙකි.
“පුතාගේ වුවමනාවට ඔය ඉගෙන ගෙන ආණ්ඩුවෙ රාජකාරි කොළාට ඉතින් අපේ නම් වැඩි මනාපයක් නෑ. අපට ඉතින් රජ කාලෙ ඉඳලා පැවරිලා තියෙන රාජකාරියක් තියෙනව නොවැ...” කාන්ති බැලීමට පැමිණි මනමාලයාගේ පියා කියා සිටියේය.
“අපේ කටේ බලේට අද මේ ගමන එක්ක ආව මිසක්... පුතා හරි ලැජ්ජාකාරයනේ.” ඒ මනමාලයාගේ මවයි.
දෙපිරිසේම එකඟතාවය මත විවාහය තීන්දු වුවද, සුරවීර කාන්තිට කියා සිටියේ අමුතුම කතාවකි.
“මං ඔයා බලන්න ආවේ කැමැත්තකින් නෙවේ. අනික මම හිතාගෙන හිටියෙ මේ යන සමාජ ක්‍රමය වෙනස් කරල මට වඩා උසස් කුලේක කෙනෙක් කසාද බඳින්න. ඒත් ඔයා දැක්කට පස්සෙ මම ඒ අදහස අත් හැරියා. අපි දෙන්න කසාද බැඳලා වෙනම පළාතක ටවුමක් ළඟකට ගිහින් ජීවත් වෙමු...”
සුරවීරගේ කතාවට කාන්ති ද එකඟ වූවාය. දීග ආ දින සිට ම කාන්ති සුරවීරට ඉමහත් ආදරයකින් හා ගෞරවයකින් යුක්තව සැලකුවාය. සුරවීර මුලදී කිවූ ලෙසටම ඔවුහු පදිංචිය වෙනස් කළහ. මුදල් අග හිඟතා නිසා නගර මධ්‍යයක පදිංචි වීමට ඔවුන්ට නොහැකි විය. එනමුත් පදිංචිය වෙනස් කිරීම පිළිබඳව නෑදෑ දෙපිරිසේ ම වැඩි මනාපයක් නොවීය.
නගරය දෙසින් ආ ෆොක්ස්වාගන් වර්ගයේ කාරයක් කාන්තිලාගේ ගෙට ඉදිරියෙන් ඇති ගුරු පාරට වැටී ගම්තුලාව දෙසට යන්න විය. ප්‍රධාන නගරයේ සිට එන පාර කාන්තිලාගේ ගෙදරට එන පාරට සම්බන්ධ වන හන්දිය කාන්තිලාගේ නිවසට පේන මානයේය. නගරයේ සිට තමාගේ නිවසට වූයේ බොහෝ සොච්චම් දුරක් යැයි ඇය සිතුවාය.
කාන්ති නැවත වරක් නුග ගස දෙස බැලුවාය. අඩ අඳුර නිසා ඇයට එය හොඳාකාරව නොපෙනිණි. තමා කොතෙක් වේලා මේ ඉරියව්වෙන් සිටියාදැයි ඇය කල්පනා කළාය.
යමක් මතක් වූවාක් මෙන් ඇය හනිකට මුළුතැන්ගෙය දෙසට එන්න වූවාය.
“අප්පේ. මගෙත් කල්පනාව. හාල් ටිකට හොඳටම දිය අල්ලලා.”
කාන්ති තමාටම කියා ගනිමින් හාල් ටික මුට්ටියට දමන්න වූවාය.
සමන්ත සමඟ විවෘතව කතා කිරීමේ අවශ්‍යතාවයක් කාන්ති තුළ වුවද එය කෙසේ ආරම්භ කරනවා ද යන නිගමනයට එළඹීමට නොහැකි වූ ඇය නිහඬවම රාත්‍රී ආහාර පිසීම සිදු කළාය. සරසවි අධ්‍යාපනය නිමා කර උපාධිය ද ලබාගෙන සමන්ත ගෙදර පැමිණ එක් පෝයක් පමණක් වත් ගෙවී නැතැයි කාන්ති සිතුවාය.
සරසවියේ ඉගෙනුම ලබන කාල පරාසය තුළ ගෙදර පැමිණෙන පුතු බොහෝ සෙයින් ඇයත් සමඟ දොඩමළු වන්නේය. එවිට බොහෝ විට ඔහු කියා සිටින්නේ ‘දැන් දැන් මේ රටේ සංස්කෘතිය පිරිහී යන බවක්’ ය. එම නිසා සාහිත්‍ය හා කලාව අගාධයකට වැටී ඇති බව ඔහු පවසයි. සමන්ත තිස්සේම කියා සිටියේ බෙර වාදන කලාව ඉතා ශීඝ්‍රයෙන් පිරිහී යන බවයි. මේ පිරිහීමට බෙර වාදනය පාරම්පරිකව පවත්වාගෙන පැමිණි පවුල්වල තුන්වන පරම්පරාව මෙයට වගකිව යුතු බව ද ඔහු පවසයි. සාමාන්‍යයෙන් ඔහු කියන බොහොමයක් දේ කාන්තිට නොතේරුණ ද සිය පුතුගේ සමාජීය දැනුම්වත්භාවය පිළිබඳ ඇයට ඇත්තේ එක්තරා පී‍්‍රතියකි. නමුත් ඇය ඒ බවක් නොසඟවාම කතා කළාය.
“ඒත් පුතේ ඔය බෙර හැදිල්ලයි ගැහිල්ලක් කරපු පරම්පරාවලටත්, ඒවා උගන්නපු පරම්පරාවලටත් අනිත් මිනිසුන් කුලය ගැන කියලා පහත් කරලා සලකනව නොවෑ...”
“අම්මේ කුලය කියන්නේ මනුස්සයෙක් මනින්න පුළුවන් මිනුමක් නෙමේ. විවිධ වෘත්තින්හි නිරත වූ අය සමාන වෘත්තින්හි නියැළුණුවන් ඇසුරු කිරීම නිසා කුලය නමැති සංඥාව ව්‍යවහාරයට ආව කියල තමා බුදු හාමුදුරුවොත් දේශනා කරලා තියෙන්නේ...”
සමන්ත කියන දේවල සත්‍යතාව ගැන කාන්තිට ඒ තරම් තේරුමක් නොමැත.
“අම්මේ... අපේ රටේ ආදී මුතුන් මිත්තන්ගේ කාලෙ එක එක කට්ටියට විවිධ හැකියාවල් තිබුණා. පෙළක් කට්ටිය ගොවිතැන් කරන්න දක්ෂ වුණා. තවත් කට්ටියක් වළං හදන්න දක්ෂ වුණා. තවත් කට්ටියක් ශිල්ප ශාස්ත්‍ර උගන්වන්න දක්ෂ වුණා. අන්න ඒ දක්ෂකම් උඩ රටේ රජතුමා ඒ ඒ අයට තමන් දක්ෂ වැඩ රාජකාරි කරන්න පැවරුවා. ඉතින් ඒකෙන් සුදුස්සාට සුදුසු රැකියාව ලැබුණා. රට ස්වයංපෝෂිත වුණා. ජීවත් වෙන්න එකිනෙකාට එකිනෙකාගේ උදව් උපකාර ඕනෑ වුණා. ඒකෙන් රටේ සමඟිය ඇති වුණා. මේ වෙද්දි ඒ ක්‍රමේ වෙනස් වෙලා. වෙනස්වීම ඇත්තටම හොඳයි. ඒක අපේ තාත්තල වගේ අය බලෙන්ම ඒක කරන්න යන එක වැරදියි.”
“ඒ වුණාට පුතේ මිනිස්සු ඕව දන්නෙ නෑනේ...”
“අම්මේ, එහෙම කියලා අපි ඇඟ බේරගෙන හරියන්නේ නෑ. අපිට තියෙනව මේ සමාජෙන් පැවරුණ වගකීමක් ඉදිරි අනාගතේ ඉපදෙන්න ඉන්න දරු පැටවුන්ගේ පැවැත්ම වෙනුවෙන් කරන්න. අනික අපේ තාත්ත ජීවත් වෙන්න හදන්නේ අහසින් කඩා වැටිච්ච මිනිහෙක් ගාණටනේ.”
කාන්ති මුළුතැන්ගෙයි වැඩ අහවර කොට සාලයට පැමිණියාය. මුළු ගෙය පුරා කුමක්දෝ මූසල බවක් අරක්ගෙන ඇතැයි ඇයට සිතේ. ඇය සාලයේ උළුවස්සට හේත්තු වූවාය.
“මං මේ සාත්තරය ඉගෙන ගන්න එක වැරැද්දක් වෙන්නෙ කොහොම ද? අනික අපි මේව කොහොම හරි රැකගන්න ඕනෑ. නැත්නම් කවුද මේ ශාස්ත්‍රය රැකගන්න ඉන්නේ...”
දින කිහිපයකට පෙර සමන්ත කටුපිටිය ගුරුන්නාන්සෙගෙන් තම පරම්පරාවට උරුම ව පැවති බෙර ශාස්ත්‍රය ඉගෙනීමට යන බව ආරංචි වී ඒ පිළිබඳව ඇසූ විට ඔහු දුන් පිළිතුරු නුගගහ මුදුනෙන් එන සුළඟේ දෝංකාර නැංවෙතැ’යි කාන්ති සිතුවාය. කෝපයෙන් වුවද පැහැදිලිව සමන්තගේ හඬ ඇයගේ සිතෙහි භීතියක ඡායාවක් හොල්මන් කරන්න සමත් විය. එහෙත් සිය පුතුට අවවාද දෙනු වෙනුවට දිගු හුස්මක් හෙළා ළය සැහැල්ලු කර ගැනීමට ඇය උත්සාහ කළාය.
අඳුර දෙස ම බලා සිටි ඇය උළුවස්ස ළඟ පුටුවක වාඩි වූවාය. ඔළුවේ පටන් ගෙන ආ වේදනාවක් දණහිසෙන් පහළට ඇදී යන සේයාවක් ඇයට දැනෙන්නට වූවාය. තම පවුලට කුමක් නම් පාපයක් පළ දෙන්නේ දැයි ඇයට සිතාගත නොහැකිය. ඇය සත දහයේ කාසියක් කහ දියෙන් සෝදා, සුදු රෙදි කඩක දවටා පාන් පැල කොණෙහි තැබුවේ මෙම ව්‍යසනයෙන් තමන් බේරා දෙන මෙන් දෙවියන්ගෙන් ඉල්ලමිනි. හිත වේදනාවට පත් වූ බොහෝ විට පහන් පැලේ දෙවියන්ගේ පිහිට ප්‍රාර්ථනා කරන ඇයට හොරාට සේ ඇගේ දෑස් සුවිසල් නුග ගස දෙස යොමු වේ. සමන්ත විශ්වවිද්‍යාලයට ගිය දිනයේ ද තමන් මෙසේ පහන් පැලේ පඬුරක් ගැට ගැසූ අයුරු ඇයට සිහිපත් විය.
එදින රාත්‍රියේ සුරවීර නිවසට පැමිණෙන විට නුග ගසේ ඡායාව ද නොපෙනෙන සේ සඳ මඬල සැඟවී ගොස් තිබිණි. දෙපා විසි කරමින් බීමතින් පැමිණෙන සුරවීර දුටු මතින් කාන්ති බියෙන් තැති ගත්තාය. අසුබ නිමිත්තක් දැක තැති ගත් සිතින් ඇය හිටිවනම උළුවස්සට පිට දී අඳුර තුළින් ඇදෙන සුරවීර දෙස ම බලා සිටියාය. පැද්දී පැද්දී නිවස තුළටම ආ සුරවීර,
“කාන්ති... කෝ උඹගේ මහා... ලොකු පුතණ්ඩියා... ඌට කියාපන්... ආය ඌට කටුපිටියලගෙ ගෙදරට පය ගහන්න බැරි වන්න මං වැඩේ කොරා... මේ සුරවීරගේ හැටි... උන් අද තමා දැනගත්තේ... ඌට කියාපන් තියෙන තත්ත්වෙ තියාගෙන ගෙදෙට්ට වෙලා ඉන්න කියලා...” පැටලෙමින් හා තතනමින් වචන ගළපන්න විය.
වැනි වැනීම තම කාමරයට යන සුරවීර දෙසින් නෙත් ඉවත් කරගත් ඇය අඳුර අතරින් නුග ගස සෙව්වාය. එහෙත් හාත්පස අඳුර මිස කිසිවක් ඇගේ ඇස නොගැටිණි. අඳුරෙහි වූයේ ද වෙනදා නොදුටු බියකරු බවකි.
සුරවීර තව මොනවදෝ මුමුනන්න විය. කාන්ති සමන්තගේ කාමර අසලට පියනැඟුවාය. සමන්ත කඩිමුඩියේ ගමන් බෑගය සකස් කරනවා දොර කවුළු අතරින් කාන්ති දුටුවාය.
https://archives.silumina.lk/punkalasa/20120520/_art.asp?fn=ar1205203
- රශ්මික මණ්ඩාවල
එකම රාජකාරියක නිරත වීම කෙනෙකුට මැදපෙරදිග ජීවිතයේ ලැබෙන නීරසම අත්දැකීම විය හැක. කිසිම වෙනසක් නැති ජීවිතයක් ගෙවීම අපහසු බව අපට දැනෙන්නේ එක්වරම එයට වෙනසක් ඇතිවූ විටය. එහෙත් වෙනස කුණාටුවක් ලෙස හඹා ආවේ නම් එය කෙසේ දරාගන්නද? සාමකාමීව ගෙවී ගිය මගේ ජීවිතය කුණාටුවකට ඇදදැමූ ඒ දවස උදාවූයේ අශුභ ලකුණක් සමඟිනි.
නිසල් ඒකනායක වන මම කටාරයේ සුපිරි වෙළඳසැලක ගෘහභාණ්ඩ අංශයේ අලෙවි සහකාරවරයෙකු ලෙස එවකට සේවය කරමින් සිටියෙමි. ලෝකයේ නන් දෙසින් ගෙනා ඉවුම් පිහුම් භාණ්ඩ මෙන්ම ඇඳ රෙදි, පාපිසි ආදී දෑ වලින් එය පිරී පැවතිණි. උදෑසන මගේ රාජකාරිය වන්නේ සියලු රාක්ක පරීක්ෂා කර බලා අඩුපාඩු ඇත්නම් යළි පිරවීමය. ඉන්පසු අංශය වෙත පැමිණෙන පාරිභෝගිකයන්ට අවශ්‍ය සහාය ලබාදීමය. උදේ කාලයේදී පාරිභෝගිකයින් සිටින්නේ මඳ වශයෙනි. ඉන් බොහෝමයක්ම අවට නවාතැන් ගෙන සිටින පවුල්වල මැදිවියේ හෝ වයසක කාන්තාවන්ය. වැඩි කතාබහක නොයෙදෙන ඔවුහු තම කාර්යය ඉටුකරගත් වහාම පිටව යති. එදින සේවයට පැමිණ අංශය පරික්ෂා කරද්දි සියල්ල මනාව පැවතීම මා පුදුමයට පත් කළේ ය. මගේ නේපාල මිතුරාට අනුව නම් එය අශුභ ලකුණකි.
අරාබි භාෂාව ගැන ඇති මගේ අඩු දැනීම දිගු කතාබහක් ඇතිවීම වළකාලයි. මේ කියන දිනයේ ඉතා රූමත් තරුණියක් පැමිණියාය. බැලූ බැල්මට ඇය අරාබි තරුණියක් විය හැකි බව පෙනුණද ඇය සැරසී සිටියේ ඩෙනිම් කලිසමකින් හා ටීෂර්ටයකිනි. දිගු ඇහිබැම යටින් වූ නිල්පැහැති ඇස් කාන්තිමත්ය. ඈ තුළ තිබුණේ විස්තර කළ නොහැකි අපූර්වත්වයකි. එයින් හැමතැනම ආලෝකමත් වූ බවක් පෙනිණි.
“හායි, මට කිංග් සයිස් බෙට් ෂීට් දහයක් ගන්න ඕන. මොනවද හොඳම ඒවා” මා වෙත පැමිණි ඇය විමසුවාය.
ඇගේ මේ ඉල්ලීම තරමක අමුතු සහගත එකකි. එනිසාම මට කුතුහලයක් ඇතිවිය.
“මැඩම් චයිනා, බංග්ලාදේශ්, ශ්‍රී ලංකන් ජාති තුනෙන්ම තියෙනවා. මෙන්න මේ රැක් එකේ තමයි හොඳම ඒවා තියෙන්නේ? ගොඩක් මැඩම්ලා නම් ඔය ගාන අඩු චයිනා එකෙන් තමයි අරන් යන්නේ, ගෙදර වැඩ කරන අයට දෙන්න”
“නෑ මගේ අයියගේ යාලුවෝ වගයක් එනවා, එයාලට දෙන්න හොඳම ඒවා ඕන.”
“ආහ් එහෙනම් මැඩම් මෙන්න මේවා තමයි හොඳම, මේ ෂෙල්ෆ් එකේ බලන්න”
“ආහ් මේකෙන් දහයක් දෙන්න” ඇය අළු පැහැති බෙට් ෂීට් එකක් තෝරා මට දුන්නාය. ඇයට මදක් ඉන්නට කියා ගබඩා කාමරයට ගිය මම බෙට් ෂීට් 10ක්ම රැගෙන ආවෙමි.
“අනේ තෑන්ක්ස්. මට ආයෙත් එන්න වෙයි. මං මෙහේ අයව වැඩිය අදුනන්නේ නැහැ. ඔයාගේ නම්බර් එක දෙන්න, මම ඕන දෙයක් තිබ්බොත් කතාකරන්නම්.”
මම වහා කොළයක් ගෙන මගේ දුරකතන අංකය ලියා දුන්නෙමි. මම සාමාන්‍යයෙන් දුරකතනය වැඩට යන විට රැගෙන නොයමි.
“මිස්ගේ නම මොකක්ද?”
“අර්සු”
මඳ සිනහවක් සටහන් කළ ඇය පිටව ගියාය. ඇය මගේ නම අසාවි යැයි සිතුවත් එය එසේ නොවිණි. එයින් පසු කාලය මා ගතකළේ තරමක අසහනයකින් කීම නිවැරදිය. ඒ ඇගෙන් ඇමතුමක් ලැබෙන්නේ කොයිවේලාවේද යන්න සිතාගත නොහැකි හෙයිනි. වෙනදා දුරකතනය කාමරයේ දමා ගියත්, දැන් මම සේවයට යන විටත් දුරකතනය රැගෙන යමි. එහෙත් ඇමතුමක් ලැබුනේ නම් නැත. මේ අතරේ ඇය හා මගේ සිත තදින් බැඳෙන්නට විය. ආදරයක අංශු මාත්‍රයක් හෝ ඇගේ සිනාවේ තැවරී තිබුණාදැයි බලන්නට මම හැමවිටම රාත්‍රියේදී ඇය පිටව යන මොහොතේ නැගු සිනාව මගේ මතකයෙන් ගෙන මගේ දෑස් ඉදිරියේ විශ්ලේෂණය කළෙමි. එහෙත් එවැන්නක් හඳුනා ගැනීමට මම අපොහොසත් වීමි.
දිනෙන් දින ගතවෙද්දී අපේක්ෂාභංගත්වයට පත්වූ මම නිසි ලෙස වතුර නොලැබූ පැළෑටියක් මෙන් අඩපණව ගියෙමි. එහෙත් ඒ අනපේක්ෂිත මොහොතේදි මට ඇගෙන් ඇමතුමක් ලැබිණි.
“හායි මම, හෙට හවස ඔයා ඉන්නවද? තුනට විතර මම එනවා බඩු වගයක් ගන්න”
“ඔව්, ඔව් මැඩම් එන්න” ගැහෙන හදවතින් මම කීවෙමි.
මගේ සේවා මුරයට අනුව තුනට පමණ මා නැවත මගේ කුටියෙහි සිටිය යුතු බැවින් ඇයව හමුවීමට නොහැකි වනු ඇත. මම වහාම අංශ ප්‍රධානියාට කතාකර මගේ සේවාමුරය මාරුකර ගතිමි. ඇය හමුවීමේ ප්‍රීතිය මගේ පාදවල සිට හිස දක්වා විදුලියක් මෙන් ගලාගියේය.
පොරොන්දු වූ පරිදිම පසුදින හවස තුනට ඇය පැමිණියාය. වෙනදාට වඩා පිළිවෙලට සැරසී එදින මම වැඩට ගියෙමි.
“හායි, මොනව ගන්නද අද ආවේ?”
“ම්ම්.. අද මෙතනින් නම් ගන්න විශේෂ දෙයක් නෑ. මොනවද තියෙන්නේ කියලා මට පෙන්නන්නකෝ?”
“එන්න මං පෙන්නන්නම්” එවෙලෙහි අංශයටම හිටියේ එක පාරිභෝගිකයෙකු පමණක් බැවින් මට ඇය සමඟ රිසි සේ කතාකිරීමට ඉඩ ලැබිණි.
“මෙතන තමයි බෙට් ෂීට්, කොට්ට උර, කොට්ට තියෙන තැන.” විවිධ වර්ගයේ බෙට් ෂීට්, කොට්ට හා කොට්ට උර තිබූ ෂෙල්ෆ් කිහිපයක් මම ඇයට පෙන්වීමි. ඇය පෙරදා අතගා බැලූ බෙඩ් ෂීට්, කොට්ට උර ආදිය අතගා බැලුවාය. "මෙතන තියෙන්නේ එක එක විදියේ පාපිසි වර්ග. අර තියෙන්නේ කිචන් ක්විප්මන්ට්ස්”
ඇය ඒ සියල්ල සෙමෙන් වඩාත් පරීක්ෂාකාරීව බැලුවාය.
ක්‍රමයෙන් අප පිවිසියේ අංශයේ ඉවත් කරන අයිතම ගොඩගසා තිබූ කොටසටයි. මේ කොටස අංශයේ සෙසු කොටසට එකවර දර්ශනය නොවන්නේ එය පැත්තෙන් ගුහාවක් මෙන් ඇතුළට පිහිටා තිබීම නිසාය. ඒ කුඩා ඉඩකඩෙහි රැඳී සිටීමට අපට සමීප වීමට සිදුවිය. කෙමෙන් අපගේ හුස්ම පවා අපට දැනෙන්නට පටන්ගති. ඇගේ පියයුරු මගේ පපුවෙහි ගෑවෙන නොගෑවෙන තරමින් ළංවන විට මම ඉහල බැලුවෙමි. ඒ CCTV කැමරා මේ ප්‍රදේශය වෙත එල්ල වී ඇතිදැයි දැනගන්නටය. පසුව මම ඇගේ මුහුණ දෙස බැලුවෙමි. එහි කාන්තිය මගේ දෑස් නිලංකාර කළේය. අපේ මුහුණු සමීප වෙද්දී ඇය කම්මුලකට හාදුවක් තබා අංශය වෙත පැනගියාය. මඳ වේලාවක් එලෙසම ගතකළ මම අංශය වෙත එනවිට ඇය පිටව ගොසිනි. ඉන් දෙදිනකට පසුව දෝහා අග නගරයේ සුපිරි වෙළඳසැලක බෝම්බයක් පුපුරා ගොස් රජයේ ප්‍රභල නිලධාරියෙකු සහ තවත් තිස්දෙනෙකු පමණ මියගියහ. කටාර් රාජ්‍යයම භීතියෙන් සලිත කරන්නට එම පිපිරීම සමත් විය. පිපිරීම පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ විය.
ඉන් සතියකට පමණ පසුව කටාර් පොලීසිය අපේ සුපිරි වෙළඳසැලේ දොරකඩ පෙනී සිටියේ මා අත්අඩංගුවට ගැනීමට ය. ත්‍රස්තවාදියෙකු ලෙස මා අත්අඩංගුවට ගැනුනේ බෝම්බ ප්‍රහාරයට මා සම්බන්ධ බව පවසමිනි. නිසල් ඒකනායක වන ලාංකික මට, කටාරයට බෝම්බ තබන්නට ඇති උවමනාව කුමක්ද? කෙසේ වුවද දැන් සියල්ල තීරණය වී හමාර ය. මගේ දඬුවම කුමක් වේවිද? සැබවින්ම මා මෙයට ඈඳුණේ කෙලෙසද යන ප්‍රශ්න මගේ මනසේ නලියමින් පැවතිණි. රහසිගත ගොඩනැගිල්ලට මා කැඳවාගෙන ගිය ඔවුහු දිගින් දිගටම මගෙන් ප්‍රශ්න කළහ. එහෙත් මා කිසිවක් දැන සිටියේ නැත. අවසානයේදී ඔවුන් මට පෙන්වූයේ ඇදහිය නොහැකි ඡායාරූපයකි. එහි සිටියේ අර්සු ය. ඇය සිරියාවේ දී සටන්කාමිනියක ලෙස තුවක්කුවක් ද අත තබාගෙන ලබාගත් ඡායාරූපයකි.
“තමුසෙගෙ ෆෝන් එකෙන් තමයි බෝම්බෙ පුපුරන තැන වෙලාව තියෙන මැසේජ් එක යවලා තියෙන්නේ. තාමත් කියන්නේ තමුසෙ අහිංසකයි කියලද?”
මම එම පණිවිඩය බැලුවෙමි. එය ඉංග්‍රීසියෙන් යවන ලද පණිවිඩයකි. එහෙත් මගේ දුරකතනයේ එවැනි පණිවිඩයක් යැවූ බවට සටහනක් නොවී ය. අර්සු මගේ දුරකතනයෙන් එම පණිවිඩය යවා පසුව මකා දමන්නට ඇත. එසේ නම් ඇය මා බිල්ලට දුන්නාද? ආදරය හැමවිටම ගෙනෙන්නේ මිහිරියාව නොවේ. සිදුවූ සියල්ල මම ඔවුන්ට පැහැදිලිව පැවසුවෙමි. එහෙත් ඉන් ඵලක් වේදැයි මම නොදනිමි. ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මා සිර කුටියකට යවන ලද්දේ ය. එහි වැතිරී අඳුර නම් තිරය මත මගේ සිතුවිලි එහා මෙහා කරන විට මට අර්සුගේ සිනහව නැවත නැවතත් පෙනේ. මට ඇය ගැන වෛරයක් නූපදින්නේ ඇයි? මම කල්පනා කළෙමි.
එළියේ මුරට සිටින නිලධාරියා මා වෙත කෑම පිඟාන ලබාදුන්නේ ය. එහි කුබුස් දෙකක් සමඟ එළුමස් හොද්දකි. කුබුසයක් ගෙන දිග හරින විට මට එහි පිහියකින් සලකුණු කර තිබුණු සලකුණක් දකින්නට ලැබිණි. එහි ‘අර්සු’ යනුවෙන් ලියා තිබිණි. එහි තේරුම මට නැවත සිහියට නැගිණි. ‘බලාපොරොත්තුව.’
එදින රාත්‍රියේ මම එක්වරම අවදිවීමි. සියල්ල නිශ්චලය, නිහඬය. කුටියේ දොර විවරව තිබේ. එය කෙසේ නම් සිදුවීද? දොරටුව අසල සිටියේ අර්සු ය.
“අපි යමු.” ඇය කීවා ය.
“ඇයි ඔයා මට මෙහෙම කළේ?”
“සොරි, එළියට යමු, මම ඉක්මනට යන්න ඕන. වැඩි වෙලාවක් නැහැ.”
මම ඇය සමඟ පිටවුණෙමි. මගේ අතින් අල්ලාගත් ඇය එම ගොඩනැගිල්ලෙන් පිටතට මා රැගෙන ගියා ය.
“මට ඔයාට කියන්න කතාවක් නැහැ. මගේ අසරණකම ඔයාට කියලා අනුකම්පාවක් ලබාගන්න මට ඕන නැහැ. මේක සටනක්. සටනකදි ඉත්තෝ පාවිච්චි වෙනවා. මගේ තාත්තටත් වුනේ ඒකයි. ඒත් ඔයා ඉත්තෙක් නෙමෙයි. ඔයා තමයි ගොදුර. ඔයාව මරන්න තීන්දු වෙලා තිබුණේ."
"ඔයාව හමුවෙන්න මම පළවෙනි දවසේ ආවේ ඔයා කවුද කියලා බලාගන්න. ඒත් නොහිතපු විදියට මම ඔයාට ආදරේ කරන්න ගත්තා. මම දැනන් හිටියා ඔයාටත් එහෙම හැඟීමක් තිබුණා කියලා. ඔයාව මරණයෙන් ගලවගන්න මට තිබුණ එකම ක්‍රමය මේක විතරයි. ඔයාව මේකට අහුකරලා හිරේට ගන්න එක. මෙතනදී ඔයාට අනතුරක් කරන්න අපේ සංවිධානේ අයට බැහැ. හැබැයි ඔයාට දඬුවමක් ලැබෙනවා. ඒකෙන් මට ඔයාව නොමරා හිත හදාගන්න පුළුවන් වෙයි.”
ඇය දීර්ග සුසුමක් හෙළලා කතාව නතර කළා. ඒත් ඇයි මාව මරන්නේ කියන කාරණය ඇය කිවුවේ නැහැ.
“ඇයි මාව මරන්නේ?”
“මීට අවුරුදු තුනකට කලින් ඔයා මේ සුපර්මාර්කට් එකේදී කෙනෙක් අල්ලලා දුන්නා මතකද?”
මට සියල්ල පැහැදිලි විය.
“ඒ ඔයාගෙ තාත්තා?”
“ඔව්. තාත්තගෙ සාක්කුවට ඒ කුඩු පැකට් එක දාලා අල්ලලා දෙනවට ඔයාට කීයක් ලැබුණද?”
“අර්සු, මටත් නැහැ ඔයාට කියන්න කතාවක්. මට ඕන නැහැ ඔයාගෙන් අනුකම්පාවක් දිනාගන්න. ඒත් මම එදත් ගොදුර, අදත් ගොදුර. එදා මම වැඩට එද්දී කෙනෙක් මට පින්තූරයක් පෙන්නලා කිවුවා මේ කෙනා කුඩු අරන් එනවා ඇතුළට, අල්ලලා දුන්නොත් රියාල් 20000 දෙනවා කියලා. මගේ අම්මා ලොකු පපුවේ අමාරුවකින් ඒ දවස්වල ලංකාවේ හිටියේ. බයිපාස් එකට සල්ලි ඕන වෙලා තිබුණා. මම කුඩු පැකට් දාන්න ගියේ නැහැ. සමහරවිට එයා ඇතුළට එද්දි දාන්න ඇති. මම හිතුවේ මම කරන්නේ හොඳ වැඩක් කියලා. කුඩු විකුණන කෙනෙක්ව අල්ලලා දෙන එක.”
“හ්ම්… එයාලට ඕන වුනේ ප්‍රසිද්ධ තැනකදී, විශේෂයෙන් ලොකු සෙනගක් ඉස්සරහා තාත්තව අල්ලලා දෙන්න. මොකද එයාලට එයාව මරලා විතරක් මදි වුනා. එයාගේ චරිතයම විනාස කරන්න ඕන වුනා. තාත්තා ලැජ්ජාවටම හිරේදී මැරුණා. දැන් ඒවයින් වැඩක් නැහැ. ඔයාට ඉක්මනටම ආපහු යන්න ලැබෙයි. අපි නැවත හමුවෙන්නේ නැහැ. ඒත් මම ඔයාට ආදරෙයි! යුද්ධෙක තවත් ඉත්තෝ දෙන්නෙක් විදියට වුණත් අපිට ආදරේ අඳුන ගන්න ලැබුණා. සුබ ගමන්!”
මෙතනින් එහාට මට මේක ලියන්න අමාරුයි. මම ඉතුරු ටික ඔයාලට කියන්නම්.
අර්සු එකවරම මැකිලා ගියේ පරිගණකයක දත්ත මැකිලා යනවා වගේ. මම නැවතත් සිරකුටිය ඇතුළෙ. අර්සු කියන්නේ මායාවක් ද? මේ වැලිකතරේ විවිධ මායාවන් තියෙනවලු. අර්සු ත් එහෙම මායාවක්ද?
සතියකට පස්සේ මාව නිදහස් කළා, අර්සු කිවුව විදියටම. මම නිදහස් මිනිහෙක් විදියට එළියට ආවා. කාලය ගියත් මට අර්සුව අමතක වුනේ නැහැ. අවුරුදු දෙකක් ගෙවුණා. අර්සු ගැන තොරතුරක් හොයන්න හැදුවත් මට මුකුත්ම හොයාගන්න බැරි වුනා. දවසක් සවුදියේ ඉඳන් ආපු යාළුවෙක් කෑම වගයක් ඔතාගෙන ආවා පත්තරේක. කෑම ටික අරගෙන පත්තරේ විසික් කරන්න යද්දි තමයි මම පත්තරේ දැක්කේ. ඒකේ තිබුණෙ සවුදි රජයට විරුද්ධව වැඩ කරපු ෂෙයික් අල් නිමර් ඇතුළු 47 දෙනෙක් ත්‍රස්තවාදී ලෙස සලකා ඝාතනය කරපු පුවතක්. ඒ ලැයිස්තුවේ අර්සු ගේ නමත් තිබුණා. ඒ හරියටම මීට අවුරුදු දෙකකට කලින්. අර්සු, මට බලාපොරොත්තුව දීලා තියෙන්නේ ඇගේ බලාපොරොත්තු කැපකරලා. මම වෙවුලන දෑතින් ඒ පත්තර කොළය දිහා බලන් හිටියේ. දියවෙලා යනව නම් ඒ වෙනකොටත් මගේ හදවත දියවෙලා ගිහින්. එදා ඒ රෑ අර්සු ත් මම ත් හමුවුනාට පස්සේ දවසෙ අර්සු අත්අඩංගුවට පත්වෙලා තියෙන්නේ. ඇය මගේ කුටියට ආවේ කොහොමද? කුබුස් එකේ අර්සු කියලා ලිවුවේ කවුද? මේ කිසිම දේකට මට පිළිතුරු නැහැ. මේ සිද්ධිය වුණේ 2016 අවුරුද්දෙදි. අද 2021 අවුරුද්දෙ සැප්තැම්බර්. හරියටම සිද්ධිය වෙලා අවුරුදු පහක්. අර්සු නැතිවෙලා අවුරුදු පහක්. වෙනදා වගේම මම එදා අල්කෝර් වල බීච් එකට ගියා. අර්සු තමන්ගේ තාත්තව අල්ලලා දුන්න මනුස්සයාට ජීවිතය දීලා ඇගේ ජීවිතේ කැපකරලා අවුරුදු පහක්. ඇය මනුස්ස දුවක් වෙන්න බැහැ. ඇය මේ වැලිකතරේ දේවතාවියක් වෙන්න ඇති. අල්කෝර් වෙරළෙදි මම දැක්ක දර්ශණයෙන් මම තුෂ්නිම්භූත වුනා. දැඩි ඉර අවුව වැලි වලට වැටිලා දිස්නේ දෙනවා. ඒ රශ්මි ධාරාව අතරින් මගේ දිහාට ආවේ අර්සු!
මට සියල්ල අදහාගන්න බැරි වුනා. ඒත් ඇය මාව අඳුනගත්තේ නැහැ. මම ඇය පසුපස්සෙන් ගියා. එහෙත් ඇය නොපෙනී ගියා. මට කිසිදෙයක් හිතාගන්න බැරි වුනා. මම එතන වාඩිවෙලා ඉර බැහැලා යනකම්ම බලන් හිටියා. ඉර බැහැලා කළුවර වෙද්දී මට තේරුණා දෙයක්. අර්සු කියන්නේ බලාපොරොත්තුව.
බලාපොරොත්තුවට අවසානයක් නැහැ.
උපාසිකාව
අඹන්විට සිරිවර්ධන
පියල්, ඔයාට යන ගමන් අපේ උපාසකම්මා ටවුමෙ පන්සල ළඟින් බස්සගෙන යන්න පුළුවන් නේ ද?”
මගේ දිවා අහර බඳුන රැගෙන කාමරයට ආ සුජාතා ඇවිටිල්ලක ස්වරයෙන් විමසුවා ය.
මෙදින රජයේ නිවාඩු දිනයකි. එහෙත් පසු දින කාර්යාලයෙහි පැවැත්වීමට නියමිත විශේෂ සාකච්ඡා වටයක පූර්ව සංවිධාන කටයුතු සඳහා උදෑසනින් එහි යාමට මම සැරසෙමින් සිටියෙමි. මේසය මත වූ ටයිම්පීස් ඔරලෝසුව හතේ කනිසම දක්වයි.
“අද පෝය නිවාඩුව යැ”යි මට නිකමට කියැවිණ.
“දන් නැද්ද. අනේ? උපාසකම්මා හතර පෝයට ම සිල් ගන්න මනුස්සයනෙ. අද මාසෙ පෝය ලු.”
“ඇයි? අද පාරෙ බස් නැද්ද?”
“අද බස් ස්ට්‍රයික් එකක් ලු. ඔයා කාර් එක එළියට ගන්නව දැකලා, උපාසකම්මා කුස්සියට ම ආවා.”
“ඉතිං බසුත් නැතිනම් ගමේ පන්සලේ සිල් සමාදන් වෙන්න තිබුණනෙ?” මා කීවේ මඳ නොරිස්සුමකිනි.
සුජාතා ඊට කිසි පිළිවදනක් නුදුන්නා ය.
“දැන් කෝ?”
“අන්න ඉස්සරහ මිදුලෙ ඉන්නවා.”
උපාසකම්මා අපේ අසල්වැසි මහලු වැන්දඹුවකි. එහෙත් ඇය අබල දුබල නැත. ඇගේ විවාහක එක ම පුතා ගමින් ඈත දුර බැහැරක වෙසෙයි. රජයේ රැකියාවක යෙදුණු සැමියාගේ විශ්‍රාම වැටුප උපාසකම්මාට ජීවිකාව පිණිස හොඳට ම සෑහේ.
සුජාතාට ගෙදර දොර එදිනෙදා වැඩ කටයුතුවලට උපාසකම්මාගේ සහාය නැතිව ම බැරි ය. ලෙඩ දුකකදී වුව, කිසි ඇරයුමක් නොලබා ම. ‘අනේ... අපේ නෝනා!’ යි හඬාගෙන දිව එන ඕ කොතෙකුත් ඇප උපස්ථාන කිරීමෙහි ද, කිසි ඇලි මැළිකමක් නො දැක්වූවා ය. “උපාසකම්මා මට අම්ම කෙනෙක් වගේ” යන්න සුජාතා ඇගයීමේ මුවින් නිරතුරුව මතුරන මන්ත්‍රයකි.
උපාසකම්මාගේ උතුරුසළුව ඇතුළු සිල් රෙදි ඇගේ ගෙමිදුලේ වැලේ නිතර සුළඟේ ලෙළ දෙනු, පාරේ යන කාටත් හුරු පුරුදු සිත නළවන දර්ශනයකි.
ඇය සිය මියගිය සැමියා සිහි කර, වසරක් පාසා, නිවසට වැඩම කරවන මහා සංඝයා විෂයෙහි සාංඝික දානමය පුණ්‍යකර්මයක් ද පැවැත්වූවා ය.
යට කී කරුණු හේතුවෙන්, බිරිය කළ ඉල්ලීම ඉවත ලෑමට මම අපොහොසත් වීමි.
ගමනට සැරසුණු මා නිවසින් පිටතට එන විට, උපාසකම්මා පෝටිකෝව කෙළවර බයාදු බැල්මෙන් රැඳී සිටියා ය. මසිත නැඟුණේ අනුකම්පාවකි. මොටෝ රියට නැඟුණු මම, පිටුපස අසුන සඳහා ඈට දොර විවෘත කළෙමි.
“පියල්, ඔයා හවස් වෙනවා කීව නේ ද? එහෙනම් ආපහු එද්දිත් පන්සලට ගිහින් පොඩ්ඩක් බලන්න!” උපාසකම්මා රියට නැඟුණු පසු, එතැනට ආ සුජාතා එසේ කීවේ, ඈ පිළිබඳව සලකා බව මට වැටහිණ.
“අපේ නෝනා, මම ගිහින් එන්නම්. නෝනට තුනුරුවන්ගෙ ම පිහිටාරස්සාවයි!” උපාසකම්මා විසින් කරන ලද කාරුණික සමුගැනීම, බිරියගේ දෙවන ඉල්ලීම ද මසිත තදින් පැලපදියම් කරවීමෙහි සමත් විය.
මම පණ ගැන්වූ මොටෝ රිය මහමඟට ගනිමින්, ඉදිරිපස කැඩපතින් උපාසකම්මා දෙස බැලිමි.
කල්පනාවක නියැළි සිටි නමුදු ඇගේ මුහුණ ප්‍රසන්න ය. ගෙල පැලඳි නවගුණවැල සුදෝසුදු ඇඳුම නිසා මැනවින් කැපී පෙනේ. ඈ අත ඝන පිටවැස්මකින් යුතු පොතකි. මසිත ඈ පිළිබඳ අනුකම්පාව වැඩිණ. නිහඬ ව පසුවීම නො මැනවැයි මට සිතුණේ ය.
“උපාසකම්මට ගමේ පන්සලේ සිල් ගන්න තිබුණනෙ. පහළ වෙලෙන් පැන්න ම අත ළඟයි නේ ද?” මා ඇසුවේ, බස් වර්ජනය සලකාගෙන ය.
“මම ඉස්සර සිල් සමාදන් වුණේ, එහෙ තමා, මහත්මයා.”
“එහෙනම් දැන් ටවුමට යන්නෙ?”
“ඒකට කාරණා දෙකක් තියෙනවා” යි ඕ උපශාන්ත ස්වරයෙන් පැවසුවා ය. ඒ කවරේ දැයි මා විමසු විට ඈ දුන්නේ බැරෑරුම් පිළිතුරකි.
“මම ඔහේ අනික් ඇත්තො වගේ පුරුද්දට සිල්ගන්න උපාසකම්මෙක් ය කියල, ගමේ උදවිය හිතන්න ඉඩ තියෙනව.”
“එතකොට අනික් කාරණාව?” උපාසකම්මා නැවත කතා කළේ, තැන්පත් මඳ සිනාවකින් පසුව ය.
“ගමේ පන්සලේ බණ හැම දා ම එකාකාරයි, මහත්මයා. උපෝසථ සීලය සමාදන් වෙලා, හැම දා ම ඔය මොකක් හරි බණ කතාවක් ඇහුවට, අපේ හිතේ රාග, ද්වේස. මෝහ කියන අන්දකාර නැති කරගන්න බෑ. ජීවිතේ නිස්සාරකම - සංසාරෙ දුක තේරුම් යන මාර්ගෙට අපේ හිත යොමුවෙන්න ඕනෑ. ටවුමේ පන්සලේ බණ ඒ අතින් පොහොසත්. දවසින් දවස විවිධාකාරයි. කිලුටු හිත පිරිසිදු කරගන්න, සංසාරෙට තියෙන ඇල්ම බැඳීම නැති කරගන්න ඒ බණෙන් නියම මග පෙන්වනවා. මට ඕනැ, සිල් සමාදන් වෙලා, සදෙව්ලෝකවල සැප සම්පත්ති ළංකරගන්න නෙමෙයි. සසර දුක නැති කරගන්න මාර්ගයෙ යන්න. සද්ධර්ම දේශනා වුවමනා පින් රැස් කරගන්න නෙමෙයි. ජරා හිත් නිවැරැදි කරගන්න. මම වැරැදි ද මහත්මයා?”
ඇගේ අදහස් ගුණ නැණින් කෙතරම් පොහොසත් ද? මම බෙහෙවින් පැහැදුණෙමි. එහෙත් මොහොතකින් මගේ සිත කිසිවකු නැවත පසුපසට අදින්නා සේ ය.
උපාසකම්මාගේ එක ම පුත් ජයවීර දිගු කලකට ඉහත සිංහල අවුරුද්දක ගම ආයේ ය. රජයේ ලිපිකරුවකු වූ ඔහු, බිරිය හා දියණිය හා සමඟ දැකුම් - පෙනුම් දෑත දරා ගෙන, අපේ ගෙටත් ගොඩවැදුණු ආකාරය මට අද මෙන් මතක ය.
“අපේ අම්මා කන්නෙ බොන්නෙ නෑ අඳින්නෙ නෑ. ලෙඩට දුකට බේතක් හේතක් ගන්නෙ නෑ. සතේ සතේ පොදි බඳිනවා. යනකොට ගෙනියන්න. උන්දැගෙ සීලෙ තියෙන්නෙ සිල් රෙද්දෙ විතරයි, සර්.”
ජයවීර සිය මව එසේ හෙළා දුටුවේ මන් ද යනු ගැටලුවකි. ඒ මොහොතේ ඔහු කෙරෙන් වහනය වුණු සුරා ගඳ මට අද ද අමතක නැත. ඉනික්බිති ඔහු කිසි දවසක ගම ආ බවට හෝඩුවාවකු දු නොවේ. ජයවීර මව හා විරසක වන්නට හේතු කවරේ ද?
“ජයවීරත් හුඟ කාලෙකින් දැක්කෙ නෑ. දැන් එයාට සරු නැතැ?” කරුණු සැක හැර දැනගනු රිසියෙන් මම ඇසුවෙමි.
සැණෙකින් උපාසකම්මාගේ මුහුණ අඳුරු වලාවකින් වැසිණ. ඉක්බිති ඕ දිග හුස්මක් පිට කළා ය. “මතක් කරන්න එපා, මහත්මයා! කාලකණ්ණි දරුවා. එයාට උගන්වන්න අප්පොච්චි සබ්බ සේසත ම වියදම් කළා. ඒකෙං වුණේ, අපිත් අයසට වැටුණු එක විතරයි. විබාගේ වත් පාස් කර ගත්තෙ, හතර පස් වතාවක් බඩගාලයි. ඒත් මගෙ කටේ බලේට. පූරුවෙ පිනකට වගේ. යන්තං රස්සාවක් ලැබුණා. ඒත් ඒකෙං තමුන්ට ය කියල කරගත්තු දෙයක් නෑ. බොනවයි, ගෙදර බවලතා ගහන ගහන පදේට නටනවයි විතරයි.”
උපාසකම්මා සිත් වේදනා පහ කරගත්තේ ඒ අයුරිනි.
ඇගේ සිත සනසනු පිණිස මම කතාබහ වෙනතක යොමු කළෙමි.
දැන් මිනිබිරි එහෙම ලොකු ඇතිනෙ, උපාසකම්මෙ?”
“මිනිබිරි”යි ඕ සාවඥ සිනාවක් පෑවා ය. ඇගේ උඩු දත් ඇන්දේ එක දතක හිඩැසක් මට පෙනිණ.
“එක් කෙනෙක් නෙමෙයි. මහත්මයා. දැං ගෑනු දරුවො ම තුන් දෙනෙක්. මම නං බලන්ඩවත් ගියේ නෑ. පුතා ඔය නරා වළට ඇද දැම්මෙ ඔය රෝහිණි තමා. එයාට පුළුවං හපන්කම එච්චරයි.”
ඈ එසේ පැවසුවේ ද්වේෂයෙන් නොව සංකා සිතින් විය යුතු ය. උපාසකම්මා අත රැඳි ලේන්සුවෙන් දෙනෙත් පිස සොටු සීරුවා ය.
“ඒවා ඒ අයගෙ මනාපකම් කියල හිත හදාගන්නව මිසක් කම්පා වෙලා පලක් තියෙනව ද?”
“මට පපුව වාවන් නැත්තෙ දරු පැටවු ගැන. බැරි බර කරට අරං, දැං යසඉසුරු හොයන්න, ලේළි රට යන්න හදනවලු.”
“ඉතිං ඔහෙ යන්න අරිනවනෙ.”
“ඒකටත් සල්ලි ඉල්ලන්නෙ මගෙං. මහ ගේ උකසට තියල ලස්ස තුන හතරක් හොයා දෙන්න කියල වදේ.”
“රට යන්න හදන්නෙ සල්ලි හම්බ කරන්න නේ ද? ඔන්න ඔහෙම ඕන දෙයක් කර ගන්න කියල, උපාසකම්මා හිත හදාගන්න!”
“එහෙම හිත හදාගන්නෙ කොහොම ද, මහත්මයා? මා එක්ක රණ්ඩු සරුවල් වෙලා. රෝහිණිලගෙ ගමට ගියා. ඒකට මොක ද, දැනටත් ඉන්නෙ කුලී ගේක. මහත්මය දන්නෑ, ලේළිගෙ හැටි. රට ගිහිං ආපහු එයි ද කියලත් මට නං හැකයි. ගෙයි උකස සින්න වුණු දාට. අපි හැමෝට ම ඉතිං මහ පාර තමා.”
උපාසකම්මා ජයවීර ඇතුළු දරුවන්ගේ අනාගතය සිහි කර තැවෙයි. ඔවුන් මහා ඛේදවාචකයක් අබියස සිටිතැ යි ඈට හැඟේ. ජයවීරට උදවු කරන්නට ඈ පසුබටවන්නේ එහෙයිනි.
ඈට දිය හැකි වෙනත් උපදෙසක් ගැන, මම මඟින් මඟට ම කල්පනා කළෙමි. එහෙත් මගේ උත්සාහය වැලි මිරිකා තෙල් ගැන්මෙහි කරන වෑයමක් සේ ය. මම ඈ පන්සලට ඇරලීමි.
පසු දිනට නියමිත සාකච්ඡා වටය සඳහා පූර්ව සංවිධාන කටයුතු මෙහෙය වූයෙන්, කාර්යාලයෙහි ගෙවුණු කාලය, නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියක් පරිදි පිම්මේ දිව ගියේ ය. සෙසු නිලධාරීහු සහ සේවකයෝ ද ඇප කැප ව සහාය දුන්හ. එහෙත් සියලු වැඩ නිම වන විට සවස හතර ද පසු ව තිබිණ.
පෙරළා නිවෙස කරා එනු පිණිස රියට නැඟුණු විට, සුජාතා දුරකථනයෙන් මා ඇමතුවා ය. “පියල්, එන ගමන් පන්සලට ගිහින්, උපාසකම්මවත් එක්ක එන්න. තාම බස් දුවන්නෙ නෑ.”
ඈට සවන් දීමෙන්, මා මහත් අකරතැබ්බයකට මුහුණ පෑවා සේ දැනිණ.
“උපාසකම්මා වැටිල ඉන්න අමාරුව ඔයා දන්ව ද? ඒ මනුස්සයාට මම මොනව කියන්න ද? මට නම් කියන්න මොකුත් හිතාගන්න බැරි වුණා. “මම රථය පණ නොගන්වා ම කීමි.
“උපාසකම්මා උදේ මටත් ඔය ඔක්කොම කීවා. පියල්, ඔයා ඒවට අත දමන්න එපා!” සුජාතාගේ වදන් මට ප්‍රහේලිකාවකි.
“ඔයාගෙ හැම දේට ම දුවගෙන එන මනුස්සයා. එහෙම ම කියන්නෙ ඇයි?”
“ඒක වෙනයි පියල්. උකස් කතාව අමූලික බොරුවක්. ජයවීරලා උපාසකම්මට කියල තියෙන්නෙ එහෙ ම නෙවෙයිලු. උන්දැගෙ බෑන්ක් එකවුන්ට් එකෙන් ලක්ෂ තුනක් අරන් දෙන්න කියලලු.”
“මොනවා? ඔයා දන්නෙ කොහොම ද?”
“රෝහිණී මට ඔක්කොම කීවා. ෆෝන් එකෙන්. අබුදාබි ගිහිං ආවා ම, පොලියත් එක්ක ආපහු දෙන්නත් පොරොන්දු වුණා කීවා.”
“ඔයාට රෝහිණි ෆෝන් කළා ද?”
“නෑ... රෝහිණිට ෆෝන් කළේ මමයි.”
“ඔයා ඒ අයගෙ නම්බර්ස් දන්නෙ කොහොම ද?” මම පුදුමයෙන් ඇසුවෙමි.
“රෝහිණිට ෆෝන් කරන්න කියල නොම්මරේ මට දුන්නෙ, උපාසකම්ම මයි.”
“අර මොකට ද, දෙයියනේ?”
“ජයවීරවයි, ළමයි ටිකයි, උපාසකම්මවයි තුංගොල්ල ම පාරට බස්සන් නැතුව, ගෙදර වැඩත් බලාගෙන ඉන්න කියල රෝහිණීට කියන්න කීවා.”
“ඉතිං ඔයා එහෙ ම කිව්ව ද?”
“ඔව්. මං ඒක කීවා විතරයි. රෝහිණි මගෙ ඇඟට ගොඩ වුණා. නෝනා නෝනගෙ වැඩක් බලාගෙන ඉන්න කියල. නැන්දම්මා නිවන් යන්නෙත් බැංකු පොත ඉණේ ගහගෙන ද කියලත් අන්තිමට ඇහුවා.”
සුජාතාට තව දුරටත් සවන් දීමට මට අවකාශ නොවී ය.
මගේ රියෙන් නගරයට යාම පිණිස නිලධාරී මහතුන් කිහිප දෙනකු පැමිණියෙන් මම බිරියට දන්වා දුරකථනය වහා විසන්ධි කළෙමි.
https://archives.silumina.lk/punkalasa/20120401/_art.asp?fn=ar1204013
සුනන්ද එරංග පෙරේරා
"තිසාද කිව්වෙ සාදාව ගෙදරින් යවන්න කියල?” මාතර හාමිනේ නන්දා දෙස බැලුවේ නොරුස්සන සුලු හැඟීමෙනි.
“තිසා එහෙම දේවල් කියන්නෑ”
“එහෙනම්”
“ගෑනු දෙන්නෙක් ඉන්න ගෙදර සාදව තියාගන්නෙ අහවල් දේකට ද?” නන්දා ගේ දෙනෙතේ තිබුණේ කෝපයක් නොව සංවේගයකි.
“ඒ මදිවට පියල්ගෙ අම්මත් රෑට තනියට එනවනෙ”
නන්දා තම ප්‍රථම ස්වාමියා වූ ජිනදාස ආතක් පාතක් නැති එකෙකු සේ මියගිය පසු පියල් හා විවාහ වී කොළඹ පදිංචියට ගියාය. ගමේ දී තිබූ ළතෙත් කරුණාව බැහැර වී නන්දා දැන් නගරයේ සටකපට හා කුහක කම් හිසින් ගෙන ඇතැයි මාතර හාමිනේ සිතුවාය.
“එහෙනම් නන්ද තමයි මේක ලෑස්ති කරල තියෙන්නෙ. ඒත් ඌ කොහේ කියල යන්නද?”
“රත්නපුරේ පැත්තෙ රජ මහා විහාරයක සාදට නවතින්න පියල් සූදානම් කරලයි තියෙන්නෙ”
මේ සියල්ලටම නන්දාත් තිස්සත් පියලුත් සම්බන්ධ යැයි මාතර හාමිනේ සිතුවාය. එය තර්ක කළ හැකි දෙයක් නොවේ. කා සමඟ කතා කළත් බාල පුතා තිස්ස සමඟ කතාකිරීම තේරුමක් නැත. මස් වැද්දෙකු අහිංසක සතෙකුට ඊතල විද සංතෝෂ වන්නා සේ තිස්ස නරුමාලාප දොඩමින් අම්මා වුවත් රිදවා සංතෝෂ වන බව මාතර හාමිනේ දනියි.
උඩ එල්ලන ලද පිත්තල පහනේ පහන් වැටි දෙකෙන් නැඟෙන කාංසියක් උපදවන සුලු එළිය වැටෙන්නේ ආලින්දයට පමණි. පියා කයිසාරුවත්තේ මුහන්දිරම් මිය ගිය පසු ආලින්දයේ තිබූ රට ලාම්පුව යළි දැල්වූයේ හත් දොහේ සහ තුන් මහේ දානයට පමණි.
අඳුරේම නවතා ඇති නන්දා පැමිණි මෝටර් රියට එහා ලොවි ගහයට බංකුවේ කතා කරමින් සිටින්නේ සාදා සහ රියැදුරායි. ඔවුන් දැකගත නොහැකි වුවත් ඔවුන්ගේ හඬ නොපැහැදිලිව ඇසේ.
අහස කළු තිරපටකින් වසා දැම්මා සේ වැහි මන්දාරමෙන් තරු වසා දමා තිබේ. කොග්ගල ඔය පිසගෙන එන සුළඟේ ඇත්තේ ළවණ සුවඳකි. සුළඟ සිහිල්ය.
හැම වාරයකම සාදා ලොවි ගහ රකින්නේ වවුලන්ගෙනි. අක්කා අනුලා සයරෝගයෙන් ඔත්පළ වීමට පෙර ලොවි බුදින්නට කෑදරියකි. දැන් අනුලා ලොවි නොබුදින බව සාදා දැන සිටියත් ලොවි ගහ රකින්නේ අනුලා වෙනුවෙන් බව නන්දා දනියි.
නන්දා නැඟී සිටියාය.
“රෑම ආපහු යනවද?”
“ඔව් අම්මා. පියල් හෙට උදේ වත්තට යනව”
“තනියෙන් ගියෑකෑ. දරුවෙක් වත් එක්ක නාවෙ?”
නන්දාගේ සිතේ උපන්නේ කම්පාවකි. ලොකු පුතා එංගලන්තයේ පදිංචියට ගොසින්ය. දෙවැනි පුතා චන්ද්‍රසෝම පියා සමඟ අමනාපයෙන්ය. දුව නාලිකා තමන් අකැමැති අතීතයක් ඇති පවුලක සවිමන් නම් තරුණයකු සමඟ හාදවෙලාය. පෙකණිය කැපුවා සේ ගම අත්හැර දැමීමෙන් තම පවුල දෙදරා ගියේ යැයි නන්දා සිතුවාය. එහෙත් අම්මාට මේ සියල්ල කිව යුතුද?
“ඩ්‍රැයිවර් තාත්ත කෙනෙක් වාගෙ. ඇරත් ගාල්ලෙ ඉඳල පාළු නෑ.” ගමේදි මෙන් නොව නන්දාගේ හිත දැන් දැඩිය.
නන්දා අනුලාගේ කාමරයට ගොස් ඇඳේ වාඩි වූවාය. අවිවාහකව මැදි වයසට ළං වූ තම වැඩිමහල් සහෝදරිය අනුලා තමාගේ දරුවන් බාල කාලයේ බලාගැනීමට නන්දාගේ ගෙදර නැවතී සිටියාය. සයරෝගය දරුණු ලෙස අනුලා ගිලගෙන ඇති බව දුටු නන්දා ශෝක වූවාය.
“මං ගෙහුං එන්නම්” නන්දා අනුලාගේ හිස අත ගෑවාය.
“නන්ද හදිසියෙම ආවෙ?”
“අනුල බලල යන්නයි. ලබන සතියෙ සාද පන්සලක නවත්වන්න කැටුව යනව කියන්නයි”
“සාද කැමැති වෙයිද?” අනුලා ඒ ප්‍රශ්නය නන්දාගෙන් ඇසුවත් පිළිතුරක් බලාපොරොත්තු නොවූවාය.
මළපොතේ අකුරක් නොදත් සාදා ගේ සිතිවිලි කෙටිය. පිටත්ව යන මොහොතේ කඳුළක් නැඟුණත් සාදා ඉක්මනින්ම පන්සල් ජීවිතයට හුරු වෙනු ඇත.
අනුලාට අවශ්‍ය වූයේ ගත වූ මාස කීපයේ මෙන් යහන මතටම වී හුදකලාව සිතන්නටය. එහෙත් එම සිතිවිලි බිම්ගෙයක ඇති අඳුරෙන් යුතු මරණය දකින තෙක් මානයේ දුරක වූ සිතිවිලි බව ඇය නොදැන සිටියාය.
නන්දා ගිය පසුත් අම්මා ආලින්දයේ සිටින්නේ සාදා සමඟ කතාකරන්න බව අනුලා දනියි. සාදා මහ ගෙදරින් යවන බව අම්මා එහිදී ඔහුට කියනු ඇත.
පනස් හැවිරිදි විය ගෙවා දමමින් සිටින්නා වූ රැවුළ නොවැවුණු පැහැපත් කයක් ඇති සාදාට ඇත්තේ හතළිස් වියැති පෙනීමකි. අනුලා උපදින විටත් සාදා සිටියේ මහගෙදරය. සාදා මහගෙදර දෙමහල්ලන්ට දැක්වූයේ භක්තියකි. අනුලා, නන්දා සහ තිස්ස යන දරුවන් තිදෙනාට දැක්වූයේ ආදරයකි.
තිස්ස හැර මහගෙදර අනෙක් ඇත්තන් කුල ගෞරවය හිසින් ගෙන සිටියත් ඔවුන් හැම දෙනාම සාදාට දයාබර විය. ඔවුන් හැම දෙනාම සිතුවේ සාදා යනු මෙහෙකරුවකු නොව නූගත් මෝඩ නෑයෙකු ලෙසය.
අනුලා මල්වර වූ පසු වැඩියෙන්ම දුටු එකම පිටස්තර පිරිමියා සාදා විය. පිරිමියකු යන හැඟීමෙන් සාදා දෙස බලා සිටියත් ඉන් එහා වෙනස් හැඟීමක් නූපන්නේ නොබිඳිය හැකි කුල සිරිත් නිසා විය හැකිය.
තාත්තා මිය ගියේය. නන්දාත් තිස්සත් කොළඹ පදිංචියට ගියහ. සාදා ලබන සතියේ මහ ගෙදර හැර දමා යන්නේය. මෙතෙක් තමා හිතින් විඳ දරාගත් කාංසිය වැඩි වන්නේය.
සාදා පිළිබඳව සිහිපත් කළ හැකි බොහෝ අතීත සිදුවීම් ඇති බව අනුලා දනියි. ඔහු පිළිබඳ ඇගේ සිතේ කිසි දිනෙක කෝපයක් ඇති නොවීය.
“කටින් පිඹල පහන්න නිවන්න එපාය කියල කොච්චර කිව්වත් ඇයි සාදා ඒකම කරන්නෙ?” දිනක් අනුලා ඇසුවාය.
“කුප්පියට පිඹල පුරුදුවෙලා”
“කුප්පියෙ තියෙන්නෙ බූමියෙ තෙල්. පහනෙ තියෙන්නෙ පොල්ගස්වල තෙල්”
“එහෙනම් පොළොවට මහී කාන්තාව කියන්නෙ?”
“පොළොව යට තියෙන්නෙ අවීචි මහා නරකාදිය. පැහිච්චි කම් නොදොඩ ආයෙ කටින්පිඹල පහන නිවන්න එපා”
එහෙත් සාදා එයින් පසුවත් පහන නිව්වේ බොහෝ විට කටින් පිඹලාමය.
සිය රෝගයෙන් ඔත්පළව කොළඹ සිට ගමට ආ අනුලාගෙන් සාදා මෙසේ ඇසුවාය.
“අනුල නෝනට ලොවි ගෙනත් දෙන්නද?”
“එපා සාදා. දැන් මට ලොවි කන්න හොඳ නෑ” ඇගේ හඬේ තිබුණේ වෙවුලන සුලු ස්වරයකි.
“ඕන දෙයක් තියෙනව නං කියන්න. මොන අහ තිබුණත් මං ගෙනත් දෙන්නම්” සාදා කීවේය.
මැදියම් රැය ඉකුත් වෙමින් තිබුණත් නින්ද අහලකටවත් නොපැමිණි අනුලාගේ මතකයේ තිබුණේ සාදායි. ඔහු ගිය පසු ගරා වැටෙන මේ ගෙයි ඉතිරි වන්නේ අම්මත් පියල්ගේ අම්මාත් තමාත් පමණි. මහලු වයසේ සිටින ඔවුන් දෙදෙනාටත් වඩා රෝගී වූ තමාගේ තනිය සාදා ගිය පසු තවත් වැඩි වනු ඇත.
රාත්‍රිය අඳුරු සීතලෙන් යුතුය. ඇතැම් රාත්‍රියක අනුලා බාල කාලයේ සාදා මිදුලේ නටමින් ඇයට කවි කියා දුන්නේය.
අලුත් අවුරුද්ද දවස්වල සාදා රතිඤ්ඤා වැලකට ගිනි තබා සතුටු වූවේය. ගමේ ගොඩේ ගඩා ගෙඩි ගෙනවිත් දුන්නේය.
අතිතය ආලෝකයෙන් යුතු වුවත් අනාගතය අඳුරෙන් වැසී පවතී. මූසල හුදකලා පාළුවක් මහ ගෙදර හැම තැනම පැතිර ඇත.
තද රතු පැහැයෙන් යුතු ලොවි ගෙඩි පලා ලුණු සහ මිරිස් දමා කෑමේ ආසාවක් අනුලා තුළ ඇතිවිය.
https://archives.silumina.lk/2014/01/19/_art.asp?fn=cr1401194
හංගේරියානු ජාතික කල්මාන් මික්ෂාත්
සිංහල අනුවාදය බොබී ජී බොතේජු
ජෝන් ගාල් මේ බලන්න. මේ මරණාසන්න අවස්ථාවේ ඔබට සිහිවන්නේ කුමක්ද? ජෝන් ගාල්, ඔබ ඇත්තටම එක් මිනිසෙකු පමණකි. ගමේ විනිසුරුතුමා පවා සමහර අවස්ථාවල ඔබගේ සහාය අපේක්ෂා කරයි. ගමේ සිටුවරිය ලෙස සැලකෙන තැනැත්තිය ද ඔබව බැලීමට ආවාය. ඔබ අතර සිටින ධනවත්ම පුද්ගලයා ඇයයි. ඒත් මට ඇයවත් පීඩාවට පත් කළ හැකියි. කෙනෙක්ව විනාශ කිරීමට සාගතයෙන් පසුවන වෘකයකුම අවශ්‍ය නොවේ. කෙනෙකුගේ සිරුර මතට විශාල ඕක් ගසක් උදුරා දමා එම තැනැත්තාව පොඩි පට්ටම් කර දැමීමට මට අවශ්‍ය නොවේ. පුංචි මදුරුවකුටත් එම විනාශය ළඟා කර දිය හැකිය.
ඇත්තටම සිදුවූයේත් එයයි. ඔහුගේ අතට මදුරුවෙක් දෂ්ට කළේය. ඉක්මනින්ම අත ඉදිමී කළු පැහැයටත් අනතුරුව රතු පැහැයටත් හැරිණ.
පල්ලියේ පූජකතුමාගේ උපදෙස වූයේ වෛද්‍යවරයකු කැඳවන ලෙසයි. ශල්‍ය වෛද්‍යවරයකු කැඳවීමට ඔහු කැමති නම් ඒ සඳහා බුඩාපේස්ට් නගරයට විදුලි පුවතක් යැවිය යුතුය. මහාචාර්ය බ්‍රිල්ව තෝරාගනු ලැබිණ. එතුමා ගෙන්වා ගැනීමට නම් වරකට ෆලොරින්ස් (Florins) තුන්සීයක් ගෙවිය යුතුය. එම මුදල වැය කිරීම මුදල් අපතේ යැවීමක් නොවේ.
“විකාර” මහලු ගොවියා පැවසුවේය. “ඒ පුංචි මදුරුවා ෆලොරින්ස් තුන්සීයක් වටිනා හානියක් මට කරල තියෙනවද?”
මහලු ගොවියාගේ බිරිය ගේට්ටුව අභියසදී ඔහුව පිළිගත්තාය.
“බුඩාපේස්ටිවල කීර්තිමත් වෛද්‍යවරයා ඔබද?” ඇය විමසුවාය.
“මොකක්ද අමාරුව?” වෛද්‍යවරයා විමසුවේය. “මදුරුවෙක් කෑවයි කියලයි මට දැනගන්න ලැබුණෙ.”
ඇය විගස ආපසු හැරී අතෙහි යමක් ගෑවුණාක් මෙන් අත පිසදැමුවාය. “ඇයි? එයා මගෙ තාත්තගෙ වයසෙ වගේනෙ” ඇය අඟරදඟර පාමින් කීවාය. “මේ ජනේල නිසා එයාගෙ ඇස්වලට හරියට පේන් නැතුව ඇති.”
වෛද්‍යවරයා තම ඇස් ඇය දෙසට යොමු කළේය. ඇය අතිශයින්ම රූමත් තරුණියකි. වෛද්‍යවරයාට වඩා තරුණය. ඇගේ සැමියාට වඩා බෙහෙවින් තරුණය. සමාව ඉල්ලන ආකාරයේ වචනයක් පැවසීමට ඔහුට අවශ්‍ය වුවත් ඔහු වචනයක්වත් කීමට පෙර ඇය ඉවතට ගියාය.
“හොඳයි අපි අත බලමු. රිදෙනවද?”
“හුඟක් රිදෙනවා” ඔහුගෙන් ලැබුණ පිළිතුර විය.
වෛද්‍යවරයා ඉදිමුණ අත පරීක්ෂා කළ අතර ඔහුගේ මුහුණට බැරෑරුම් පෙනුමක් ආරූඪ විය.
“මම ආවෙ නියම වෙලාවට. ඔහෙගෙ වාසනාව. අපට තවමත් යමක් කරන්න පුළුවනි. හෙට වෙනකොට ප්‍රමාද වැඩියි. එතකොට ඔබ මිය ගිහින් තියේවි.”
“ලේ විෂවීම ඉක්මනින්ම පැතිර යනවා. අපට අපතේ යවන්න කාලයක් නැහැ. ඔබගෙ ස්නායු ශක්තිමත් කරන්න ඕනෙ සීයෙ. ඔහෙගෙ අත කපල ඉවත් කරන්න ඕනෙ.”
“මගෙ අත?” ඔහු මවිතයෙන් උපහාසාත්මක ලෙසත් කලකිරුණ ස්වරූපයෙනුත් කීවේය.
“ඔව් ඒක කරන්න සිද්ධ වෙනවා”
“මේ අහන්න” වෛද්‍යවරයා සිත් ඇදගන්නා හඬින් කතා කළේය. ඒකෙන් ඔබට වේදනාවක් දැනෙන්නෙ නැහැ. මම ඔහේව නින්දට යවනවා. ඔහෙ නැගිටින කොට සියල්ල අවසන්. ”
මෙවැනි අකීකරුකමකට මුහුණදීමට වෛද්‍යවරයා සූදානමින් නොසිටියේය. ඔහු කාමරයෙන් පිටවී ගොස් ගොවියාගේ බිරිය සමඟ කතා කිරීමට අදහස් කළේය.
“මගෙ සැමියාට කොහොමද?” ඇය තමා කරමින් සිටි වැඩය දිගටම කරගෙන යමින් උදාසීන ලෙස විමසුවාය.
“හුඟක්ම නරකයි. මම ඔබ හමුවෙන්න ආවෙ ඔහුගෙ අත කපා ඉවත් කරන්න ඔහුව කැමැති කරවාගන්න උත්සාහ කරන්න කියල ඔබට කියන්න.”
“මගෙ දෙවියනේ!” ඇය මවිතය පළ කළාය.
“එහෙම නැත්නම් තව පැය විසිහතරක් යනකොට ඔහු මියයාවි.”
“මම අබ්බගාතයකුගෙ බිරියක් වීමෙන් සතුටුවන ගැහැනියක් විදියට ඔබට පේනවද? මම ලැජ්ජාවෙන් මැරේවි.”
මහලු ගොවියා ඇය දෙස ප්‍රසන්න ලෙස බැලුවේය.
“කරදරවෙන්න එපා ක්‍රිස්කා. මෙතන මස් කඩේ වගෙ වැඩ කරන්න මම සූදානම් නැහැ. කෑලිවලට වෙන් වෙලා මැරෙන්න මම කැමැති නැහැ.”
මරණයේ බියකරු බව සහ ජීවිතයේ සුන්දරත්වය පිළිබඳව වෛද්‍යවරයා මහල්ලාට කළ විස්තරයෙන් ද පලක් නොවීය. වෛද්‍යවරයා තමාට ආරාධනා කළ සිටුවරිය සහ ගමේ සිටි දක්ෂ කථිකයන් ද කැඳවූ නමුත් ජෝන් ගාල් මුරණ්ඩු ලෙස තම තීරණයේ පිහිටා සිටියේය. ඔහු අත කපා දැමීම ප්‍රතික්ෂේප කළේය. ඔහුෙග් කටහඬින් සහ මුහුණින් පළවූ සන්සුන් බවින් පෙනී ගියේ මරණයේ බියකරු බව පිළිබඳව ඔහු තැකීමක් නොකරන බවයි. ඔහුට කාලය පැමිණ තිබේ නම් තම සීයා සහ පියා මෙන් මරණයට මුහුණදීමට ඔහු සූදානම්ය.
“ඔහෙ දන්නවද ඔහෙගෙ අත කපා දැමුවත් නැතත් ඔහෙට මට තුන්සීයක් ගෙවන්න සිද්ධවෙනවා. ශල්‍යකර්මය සිදු නොකිරීමෙන් වෙන්නෙ මුදල් අපතේ යාමක්. ශල්‍යකර්මයට ගතවෙන්නේ මිනිත්තු පහයි.”
“හොඳයි දොස්තර මහත්තයට පුළුවනිනෙ පිටතින් ආලේප කරන බෙහෙතක් නියම කරල ගාස්තුව අය කර ගන්න.” මහල්ලා සන්සුන් ලෙස කේවල් කරන්නට විය.
ඔහු මරණයට සූදානම් වෙමින් සිටියි. අමුත්තෝ වයින් පානය කර රෝගියාව දෙවියන්ට භාරකර යන්නට ගියහ.
මිදුලේදී වෛද්‍යවරයාට ජෝන් ගාල්ගේ නිවසේ සේවය කරන මනා පෙනුමකින් යුත් ශක්තිමත් තරුණයා හමුවිය.
ඊළඟට කළ යුත්තේ කුමක්දැයි තීරණයක් ගත නොහැකිව වෛද්‍යවරයා ගේට්ටුවෙන් පිටතට වී සිටියේය. ගේට්ටුවේ සිදුරු අතරින් ඔහු දුටුවේ තරුණයා ගාල් නෝනා වෙත යන අයුරුත් ඇය අඟර දඟර පාමින් ඔහුව පිළිගන්නා අයුරුයි. ඔවුන් ගින්දරත් සමඟ සෙල්ලම් කරමින් සිටින බවත් ඔවුන් අතර කිසියම් සබඳතාවක් ඇති බවත් වෛද්‍යවරයාට වැටහිණ. දැන් ඔහු කළ යුත්තේ මේ පිළිබඳ තව තොරතුරු සොයා බැලීමයි. ගමේ සිටින මහලු මන්ත්‍රකාරිය ගමේ ඇති සියලුම ප්‍රේම සම්බන්ධතා පිළිබඳව දැන සිටියාය. රෝගියා වෙත පැමිණි දිවුරුම් කොමසාරිස්වරයා මන්ත්‍රකාරිය පිළිබඳව දැන සිටියේය. වෛද්‍යවරයා මන්ත්‍රකාරිය සිටින ඉසව්ව පිළිබඳව ඔහුගෙන් විපරම් කළේය.
“රිබෙක් මන්ත්‍රකාරිය, ඇය ඉන්නෙ ගාල්ගෙ නිවසට ගෙවල් දෙකකට එහායින්.”
වෛද්‍යවරයා මන්ත්‍රකාරියට රිදී ෆලොරින්ස් දෙකක් දුන්නේය.
“මම කාන්තාවකට ආදරය කරනවා. ඇයත් මට කැමති කරවා ගන්න මොනව හරි කරල දෙන්න.”
“ආහ්! ඒක කරන්න බැහැ ළමයො. ඔහෙ හරියට පඹයෙක් වෙග්නෙ. සාමාන්‍යයෙන් ගැහැනු ඔබ වැනි අයට ආදරය කරන්නෙ නැහැ.”
“ඇත්ත අම්මේ ඒත් මට ඇයට අවශ්‍ය රෙදිපිළිත් ඇයට වියදම් කරන්න අවශ්‍ය මුදලුත් දෙන්න පුළුවනි.”
“එතකොට කවුද කාන්තාව?”
“ජෝන් ගාල් මහත්මිය.”
“ඔබට ඕනෑම රෝස මලක් කඩාගන්න පුළුවනි දැනටමත් කඩාගෙන ඇති රෝස මලක් ඇරෙන්න.”
වෛද්‍යවරයාට දැනගන්නට අවශ්‍ය වූයේත් එයයි.
“එතකොට අනිත් මනුස්සයා කව්ද?”
“පෝල් නැගී - අර තරුණ සේවකයා. ඇය ඔහුටයි ආදරය කරන්නෙ. ඇය නිතරම ඔහුව සොයනවා. මම ගිය අවුරුද්දෙ ඇයට දුන්නා ඔහුෙග් වයින්වලට මිශ්‍ර කරන්න අවුරුදු ගාණක් පරණ වශීකරණයක්.”
“ඉතින් ජෝන් ගාල් සැක කළේ නැද්ද?”
“හැම වෙලාවෙම එයා ගෑනු මායම්වලට රැවටෙනවා.”
“මම ඔබගෙන් සමුගන්නයි ආවෙ ගාල් මහත්මයා.”
“ඔබ යනවද දොස්තර මහත්මයා?” හේ උදාසීන ලෙස විමසුවේය.
“මට මෙහෙ කරන්න දෙයක් නැහැ.”
“මගෙ බිරිය ඔබට මුදල් ගෙව්වද?”
“ඔව්. ඔබට ඉන්නෙ රූමත් බිරියක්. ඇය හුඟක්ම රූමත්.”
“අර පෝල් කියන කම්මැලියා නම් ඇය සමඟ සතුටින් කාලෙ ගත කරනවා... මම නොකිව්වට....”
මහලු ගොවියා වෙව්ලමින් උඩ බැලුවේය.
“ඔබ මොකක්ද කිව්වෙ දොස්තර මහත්තය.”
ජෝන් ගාල් වෙව්ලන්නට වූ අතර අත ඉදිමී ඇති බව අමතක කරමින් වේදනාවෙන් කෙඳිරි ගෑවේය.
“මගෙ අත මගෙ අත ඩොක්ටර් තවත් වචනයක්වත් කියන්න එපා. තවත් වචනයක්වත්....”
ඔහු දකුණු අතින් වෛද්‍යවරයාව අල්ලාගෙන ගැඹුරු සුසුමක් පිට කළේය.
“මොන පෝල්ද ඩොක්ටර්? ඔබ කිව්වෙ මොන පෝල් ගැනද? ඒ කවුද?”
“ඔබ දන්නෙ නැහැයි කියන්නෙ ඇත්තටමද? පෝල් නැගී - ඔබගෙ සේවකයා.”
මහලු ගොවියා සුදුමැලි විය. ඔහුගේ හදවත ලෙයින් පිරුණි. දැන් ඔහුගේ අතින් වේදනාවක් ගෙන නොදේ. ඔහු නළලට අත ගසා ගනිමින් උඩ බැලුවේය.
“මම මොන තරම් මොඩයෙක්ද? කාලෙකට ඉස්සරයි මම මේක තේරුම් ගන්න තිබුණෙ. මේකි ගැහැනියක් නෙවෙයි හැපින්නක්.”
“කාන්තාවට ශාප කරල වැඩක් නැහැ ගාල් මහත්තය. ඇය තවම තරුණයි ශක්ති සම්පන්නයි. යහපත් සෞඛ්‍ය තත්වයෙනුයි ඉන්නෙ. ඇය සමහරවිට අහිංසක වෙන්න පුළුවන්. ඒත් ඔබ මිය ගියාට පසු ඇය නැවත විවාහ විය යුතුයි. ඔබ මියගියාට පස්සෙ....”
මහලු ගොවියා දැඩි ආයාසයෙන් වෛද්‍යවරයා දෙසට හැරුණි.
ඔබ මිය ගියාට පස්සෙ ඇය තරුණයකු සමඟ විවාහ වීමෙන් ඔබට කිසිම හානියක් වෙන්නෙ නැහැ ඔබ පොළව යටට ගියාට පස්සෙ ඔබ කිසි දෙයක් දන්නෙ නැහැ. අනික ඇයට කඩවසම් ස්වාමි පුරුෂයකු ලැබීම ගැන ඔබ සතුටු වෙන්න ඕනෙ. පෝල් අපූරු තරුණයෙක්.”
මහල්ලා දත්මිටි කෑවේ ඇත් දළ දෙකක් එකට හැපෙන්නාක් මෙනි.
“ඔබ කරදර වෙන්න ඕනෙ නැහැ ගාල් මහත්තය. ඇගෙ අපූරු ශරීරය අපතේ යන්න ඉඩ දිය යුතු නැහැ. පෝල් මෝඩයෙක් නෙවෙයි. ඔහු නිකම්ම කාන්තාව අත අරින එකක් නැහැ. අනික ඇය ළඟ ඔබගෙ සල්ලියි ගොවිපලයි තියෙනවා. කාන්තාවක් ජීවිතය සතුටින් ගෙනියන්න කැමැතියි. මෙතන ඉන්න එකම මෝඩය ඔබයි ගාල් මහත්තය.”
මහලු ගොවියා නැවතත් කෙඳිරි ගෑ අතර ඔහුගේ නළල මත ඩා බිඳු එක් රැස්වන්නට විය. ඔහුගේ හදවත පුරා ඇති වේදනාව පිටාර ගලන්නට විය.
“ගාල් මහත්තය අත් නැතිව ඉන්නවට වඩා හොඳයි එක අතකින් හරි ඇයව වැලඳ ගන්න හැකිනම්.”
“මෙය මහල්ලාට දරා ගත නොහැකි විය. ඔහු එක්වරම නැගිට ඔහුගේ ඉදිමුණ අත වෛද්‍යවරයා වෙත පෑවේය.
“ඔබගෙ සැත්කම් පිහියෙන් මේ අත කපල දාන්න ඩොක්ටර්.”
https://archives.silumina.lk/2014/07/06/_art.asp?fn=cr1407063
අනුල ද සිල්වා
දහවල් වනවිට මළ ගෙදරට පැමිණෙන අයගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවන්නට විය. පවුලේ නෑදෑයන් කිහිප දෙනා හැරුණ විට පැමිණෙන අන් සැමදෙනා ම අම්මාගේ ගෝලයන් යයි පියවතීට සිතිණ. ඔවුන් ආචාර සමාචාර කොට පිළිගනු ලැබුවේ ජයසිරිගේ සොහොයුරිය විසිනි. අමුත්තන් කථාබහට වැටුණේ ද මේ දියණිය සමඟ ය. මිනිය පිටුපස මුල්ලකට වී ඉඳගත් පියවතීගේ දෙනෙතට කඳුළක් නැගිණ. තමන් ගෙදර කෙනෙකු නොවන තරමට කොන් වී ඇතැයි පියවතී සිතුවා ය.
“කොච්චර උණත් මං පිට එකීනේ... අනික මං අම්ම කොළඹ එක්ක ගියේ හීනෙකින්වත් මෙහෙම දෙයක් වේවිය කියල හිතාගෙන ද?” පෙර දින රාත්‍රිය ගැන ආවර්ජනය කරන්නට වූ පියවතීගේ දෙනෙත් පිර වූ කඳුළු බිඳු දෙකම්මුල් දිගේ රූටා ගලන්නට විය. දෑස් පියාගත් පියවතී දැහැනකට සමවැදුණ එකියක සේ බිම බලා ගත්තා ය. තත්පර විනාඩි කොතරම් ගතවූවා දැයි ඇයට නොදැනිණ.
“කෝ ඉස්කෝලෙ හාමිනේගේ ලොකු පුතා පෙනෙන්නවත් නැත්තෙ.”
තමා අසලින් ම ඇසුන කටහඬින් පියවතී තිගැස්සී අවදි විය. පෙනුමෙන් මුල්ගුරුවරියක වැනි වූ තැනැත්තියක් ඈ අසල වූ පුටුවේ ඉඳගෙන සිටියාය. මේ තැනැත්තිය තමා හඳුනා ගත්තාවත්ද? මළගෙදර ට පැමිණි අමුත්තකු තමා සමඟ කතා කළ මුල් ම වතාව මෙය නොවේ දැයි පියවතී සිතන්නට විය. ඇයට පිළිතුරුදීම මොහොතකට අමතක විය.
“කෝ මේ පුතා පෙනෙන්න නැත්තෙ.”
අමුත්තිය දෙවන වරටද එම ප්‍රශ්නයම ඇසුවා ය.
“බඩුවගයක් ගේන්න ටවුමට ගියා තවම ආවේ නෑ”
යාන්තමට සිනහසීමට තැත් කරමින් පියවතී කී වචනවලින් ඈ නොනැවතුණා ය.
“මේ ඉස්කෝලෙ හාමිනේ මං එක්ක එකට උගන්වපු කාලෙ මට දැන් වගේ මතක් වෙනවා. ඔය පුතා ඒ කාලෙ අම්මගෙ පස්සෙන්මයි. පන්තියෙන් මිදුලට බහින්නේ නෑ අම්මට නොකියා. මට හරි ආසයි ඔය ළමයව දැකගන්න. පවුල් උනාට පස්සෙ දැක්කෙම නෑනෙ හැබෑට.”
දිගින් දිගට කියවන්නට වූ ඇගේ ඊළඟ ප්‍රශ්නය කෙළින් ම පියවතී වෙත එල්ල විය.
“මේ ළමය කවුද හැබෑට මට නිච්චියක් නැතුව”
“මං තමයි ඒ පුතා බැඳල ඉන්නෙ”
“හැබෑට මම දන්නෙම නැහැනෙ”
මොහොතකට කතාව නැවතූ ඇය හිස සිට දෙපතුල දක්වාම පියවතී දෙස බලන්නට වූයේ එක්තරා කුතුහලයකින් මෙනි.
“කොහොමද දරුවො ඉස්කෝලෙ හාමිනේ නැතිවුණේ හැබෑට?”
ඇගේ ඊළඟ ප්‍රශ්නයෙන් පියවතී ගොලු වූවාක් මෙන් විය. අම්ම මැරුණෙ හදිසි කම්පනයකින්. කොහොමද මං ඒක විස්තර කරන්නෙ. තත්පර ගණනාවක් ම කල්පනා කරන්නට වූ පියවතීගේ නිහඬ බව නොඉවසූ ඈ යළිත් ප්‍රශ්නය වෙනතකට යොමු කළා ය.
“එක් තැන්වෙලා උන්නෙත් නැහැනේ?”
“නෑ”
“එහෙනම් කොහොමද හදිසියෙ?”
“කොළඹ එක්කන් ගියා බෙහෙත් ගන්න කියලා... එහෙදි තමයි නැතිවුණේ.”
පියවතී වචන කිහිපයක් ආයාසයෙන් මෙන් එකට ගැට ගැසුවා ය.
“එහෙනම් මේ ළමයින්ගේ ගෙදරදී නැතිවුණේ?”
“ඔව් කොළඹ ඕන තරම් දොස්තරවරු ඉන්නෙ. එහෙම කෙනෙකුට පෙන්නන්න තිබුණනෙ.”
ඇගේ ඊළඟ වචන කිහිපය කුමක් විය යුතු දැයි පියවතීට සිතාගත නොහැකි විය. පියවතීගේ වාසනාවට මෙන් ගුරුවරිය ප්‍රශ්න ඇසීම නවතා යාමට සැරසුණා ය.
“එහෙනම් දරුවො මං ගිහින් එන්නම්. මහත්තයට කියන්න මං ඇවිත් ගියයි කියල. මං ෙසාහොන් කරන වෙලාවටත් එන්නම්.” පුටුවෙන් නැගිටගත් ඈ ජයසිරිගේ සොහොයුරිය සමඟ ද මොහොතක් කතා කොට පිටවී ගියා ය. ඉන්පසු මළ ගෙදරට පැමිණි අඳුනන නාඳුනන කිහිප දෙනෙක් ම පියවතී හා කතා කළහ. “කෝ ඉස්කෝලෙ හාමිනේගේ ලොකු පුතා පේන්නවත් නැත්තෙ.” යන ප්‍රශ්නය හැම දෙනාගේ ම මුවින් පිටවිය.
සවස් වනවිට අමුත්තන්ගේ පැමිණීම ක්‍රමයෙන් වැඩි විය. පියවතීගේ සිත් වේදනාව ද ක්‍රමයෙන් වැඩි වන්නට විය. අහල පහල ගැහැනු උදවිය පැමිණ මහත්තයා කොයි දැයි අසන ප්‍රශ්නයට ඈ විසින් දියයුතු පිළිතුර කුමක්දැයි ඇයට දැන් සිතා ගැනීමට බැරි තරම් ය. උදේ වරුවේ සිට ඈ විසින් ගෙතූ බොරුව තවත් දිගින් දිගට ගෙතිය නොහැක.
ප්‍රශ්නයෙන් ගැලවීමට පිළිසරණක් සෙවූ පියවතී ඇතුළු කාමරයට වැදුණා ය. කාමරයට වැදී දොරගුළු දමාගත් පියවතීට යාබද කාමරය දෙසින් ජයසිරිගේ පියා ගේත් සොහොයුරියගේත් කටහඬවල් ඇසෙන්නට විය.
මිනිස්සු අහන ප්‍රශ්නවලට කොහොම උත්තර දෙන්නද මන්ද ළමයො?” ඒ පියාගේ හඬය.
“ඇයි අර ලේලි පොඩ්ඩගෙන් අහගන්න කියන්න කො” ජයසිරිගේ සොහොයුරිය පිළිතුරු දුන්නේ කෝපයෙන් යැයි පියවතී සිතුවාය.
“අනේ මන්ද දුවේ අයියගෙත් වැරැද්දනෙ නැත්නම් තමන්ගෙ අම්මගෙ මරණෙට නෑවිත් අරිනවයැ.”
“අයියගේ වැරැද්දක් නෑ වැරැද්ද ගෑනිගෙ. අම්ම කොළඹ එක්ක ගියාට පස්සෙ අයියා එක්ක රණ්ඩු අල්ලන්න ඇති. අයිය ගෙදරින් යන්න ඇත්තෙ ඒකයි. අම්ම මැරුණෙත් කොහොමද කියල අපි දන්නවය? පය පැටලිල වැටුණ ද නැත්නම්... මුස්පේන්තු හැතිරී. දැන් ඉන්නව ගල් ගිල්ල වගේ.... මම නම් අම්ම කොළඹ එක්ක යනවට කොහොමවත් කැමැති වුණේ නෑ”
“දැන් මොකටද දුවේ අපි අපි කා කොටා ගන්නෙ අයියව ගෙන්න ගන්න විදියක් ගැන හිතනව මිසක්. පියවතීගෙන් ඇහුවා නම්.
“ඔය ගෑනිගෙන් අහල වැඩක් නෑ තාත්තෙ.”
කටහඬවල් ක්‍රමයෙන් නැවතී යද්දී පියවතී ඉකි ගසා අඬන්නට වූවා ය. මුළු දවසක් පුරා පැවැති වේදනාව එක මොහොතකින් පපුවට කා වැදී ගියාක් මෙන් ඇයට දැනිණ.
අම්මා කොළඹ ගෙන ගියේ නැත්නම් ඇගේ මරණය මෙතරම් ඉක්මන් නොවන බව දැන් පියවතීට සක්සුදක්සේ පැහැදිලි ය. පෙරදින සිදුවූ සියල්ල යථාවබෝධයෙන් යුතුව ඈ යළිත් මෙනෙහි කරන්නට වූවා ය.
තමන්ගේ නැන්දම්මා වුව ද ඈ ජයසිරිගේ මවට දැක්වූයේ පුදුම ළෙන්ගතු කමකි. ඇයව විශේෂඥ දොස්තර මහතකුට පෙන්වීම සඳහා කොළඹ තම ගෙදරට කැටුව ඒමට ජයසිරිව පෙලඹුවේද පියවතීම ය.
“ඔන්න අද නම් කලින් ගෙදර එන්න. අම්මව දොස්තර ළඟට එක්ක යන්න තියෙනවා. හවස පහට එපොයිමන්ට් එක.”
“අම්මා කොළඹ ගෙනැවිත් දින දෙකකට පසු උදෑසන ජයසිරි ගෙයින් පිටවෙද්දී ඈ ඔහුට හවස කාල සටහන යළිත් සිහිපත් කරවූවා ය. අම්මා එළිපත්තට වී ජයසිරි යන දෙස බලා සිටියා ය. ජයසිරි අම්මාගෙන් සමුගත්තෙත්වත් ආපසු හැරී බැලුවේවත් නැත.”
ළමය කල් ඇතිව ඒවිද මන්ද. අම්මාගේ සිත තුළ එක්තරා සැකයක් පහළවන්නට ඇත. ඒ මොහොතේ ඇඬූ හූනකු එළිපත්ත මතට ඇද වැටුණේ පියවතීගේ කකුලට ද පෑගී දිව ගියේ ය.
“දොස්තර මහත්තය අද හවසට හම්බ වෙන්න බැරි වෙයිද දන්නේ නැහැ දරුවෝ, හූනෙකුත් ඇඟට වැටුණා.”
අම්මාගේ සැකය නිවැරැදි විය. ජයසිරි හවස හතර හමාර වනතුරුත් ආපසු පැමිණියේ නැත. පියවතී නිකට දෑත් මත තබාගෙන බොහෝ වේලාවක් යනතුරු කල්පනා කළා ය. අම්මා ඒ ගැන එතරම් කැලඹුණේ නැත.
“මොකෝ දොස්තර මහත්තය රට යන එකක්යැ මටත් ඒ හැටි අමාරුවක් නැහැනෙ. අපි හෙට යමු ළමයො.”
එදා හොඳටම රෑ බෝ වී ජයසිරි පැමිණියේ කටගොන්නක් බීගෙන ය. ඔහුගේ විලාසය දුටු පියවතීට යකා ඇවිස්සුණේ ය.
“ඔය අම්මව දොස්තර ළඟට ගෙනියන්න කල්වේලා ඇතිව ආව හැටි.”
පියවතී සුපුරුදු ලෙස කඩා පැන්නා ය.
“ඇයි ගෑනියෙ තොට මතක නැද්ද මං එනකං ඇවිත් එතන ඉන්න කිව්ව.”
බීගත් කළ ජයසිරිගේ තිරිසන් ගති හොඳට හඳුනන පියවතී අම්මා දෙස බලා නිහඬ වූවා ය.
"තොට බැරි උණා අම්මත් එක්ක එතනට එන්න. සිහි කල්පනාව නැති හැතිරී...”
තමාගේ නිවැරැදි බව ඔප්පු කිරීමට ඇයට ශක්තියක් නැත. ඈ නිහඬව කුස්සිය දෙසට යාමට හැරුණා ය.
“කොහෙද යන්නෙ මෙහෙවර...”
කෙහෙවල්ලෙන් අල්ලාගත් ජයසිරි පියවතීට පහරක් ගැසුවා ය. අම්මා මැදට පැන්නේ එය වැළැක්වීමට ය. ජයසිරිගේ ඊළඟ පහර වැදුණේ අම්මාට ය. අල්මාරියේ වැදුණු අම්මා පය පැකිළී ගොස් පුටුවකට හේත්තු විය.
“ඇයි දෙවියනේ අම්මට නේද ගැහුවේ”
පියවතී කෑ ගැසුවා ය. නැගිටින්නට තැත් කළ අම්මාට තවත් පහරක් වැදිණි. විසිවී ගිය අම්මා බිම ඇද වැටුණා ය. මොහොතකින් ජයසිරි අතුරුදහන් විය. පියවතී යටිගිරියෙන් කෑගැසුවා ය.
පිටුපස ගෙදර සනී අය්යාත්, ඩේසි අක්කාත් පැමිණ අම්මා වත්තන් කොට හාන්සි පුටුවේ දිගා කරවූවා ය. විනාඩි කිහිපයකින් දොස්තර මහතෙකු කැඳවනු ලැබීය.
“පඩි පෙළ බහින්න හදද්දී එතන තිබුණ කනප්පෙ හැපිල අම්ම වැටුණා.”
පියවතී ගොත ගසමින් සියල්ල විස්තර කරන්නට වූවා ය.
“හදිසි කම්පනයක් වැටෙන කොට ලොකු බයක් ඇතිවෙලා තියෙනවා.”
දොස්තර මහතාගේ තීරණය සත්‍යයෙන් තොර නොවීය.
එම තීරණය ඒ අයුරින් ම ජයසිරිගේ තාත්තා හා නැගණිය සමඟ පවසන ලදී. එයට මොහොතකට පෙර තමාටත් මවටත් බැණ වැදුණ ජයසිරි ගෙදරින් පිටවූ බව පියවතී විසින් එම කතාවට අලුතෙන් එක්කාසු කළේ සියල්ල නිහඬව විසඳිය යුතු බැවිනි.
“ඕකා මිනියටවත් නොඑන එකමයි හොඳ.”
තාත්තා කීවේ ඉතා සන්සුන්ව ය. නංගී ඒ මොහොතේ කිසිවක් නොපැවසුවා ය.
පෙරදින සිදුවූ සියල්ල ආවර්ජනය කළ පියවතීට තවත් එක මොහොතක්වත් එම කාමරයේ සිටිය නොහැකි තරම් බියක් දැනිණ. ඈ යළිත් සාලයේ මිනිය අසලට විත් ඉඳ ගත්තා ය. රෑ බෝ වන තුරු අතන මෙතන අහුමුලුවල ඉඳෙගන උන් පියවතීට දැඩි තනිකමක් දැනෙන්නට විය. මිනියට තනි රැකීමට පැමිණි අහල පහල ගැහැනු කිහිප දෙනා සති පට්ඨානය කියවති.
“කෝ නෝනො... මහත්තය? උදේවත් ගිහින් ඉන්න තැනකින් එක්ක එන්න එපායැ.”
සතිපට්ඨානය නැවැත්වූ පොඩි නෝනක්කා එසේ අසමින් බුලත් විටක් හොයන්නට විය. පියවතීගේ මුවට පිළිතුරක් ගලා ආවේ නැත.
“මහත්තයා කොළඹින් පිට ගිහින් ද දන්නවයැ.”
මෙවර පියවතී වෙනුවට කතා කළේ මැගි නෝනා ය. පුටුවට බරවී යන්තමට දෑස් පියවෙද්දී මිදුලේ සිටින පිරිමි කිහිප දෙනා ද ජයසිරි ගැන කතා කරනු පියවතීට ඇසිණ.
“එළිවෙන්න කලියෙන් මාත් යනව කොහේ හරි යන්න.”
ස්ථිර තීරණයකට එළඹුණ පියවතී මිනිය අසල පැදුරක් එළාගෙන මදක් ඇලවුණා ය.
පාන්දර කුකුළා හඬලනු ඇයට ඇසිණ. ඈ මුහුණ යන්තමට හෝදාගෙන සාරියක් පටලවා ගත්තාය. මිනිය අසල උන් කිහිප දෙනා මෙන් ම ඉස්තෝප්පුවේ උන් අය ද ඉඳගත් තැන්වල ම නින්දට ගොස් ය.
ඉස්සරහ පැත්තෙන් පාරට යා යුතුයයි පියවතීට සිතිණ. ඈ මිදුලේ නමිනං ගස අසලට පැමිණියා ය. නමිනං ගස මුල අවතාරයක් මෙන් කවුදෝ ඇන තියාගෙන සිටියි. පියවතීට යටිගිරියෙන් කෑ ගැසෙන්නට ආවේ ය. ඈ කට දෑතින් ම වසාගෙන ඉදිරියට දිව්වේ ය.
"මොකද පියවතී උඹ බය වුණා ද?... උඹල හිතුව මං එන්නෙ නෑ කියල... ඔන්න මං ආව මගෙ අම්ම බලන්න...”
ගසකට මුවා වූ පියවතී ඒ කටහඬ අඳුනා ගත්තාය. එහෙත් ඉදිරියට තැබූ පය ආපසු ගැනීමට පියවතී නොසිතුවා ය.
“මහත්තයට දරාගන්න බෑ වේදනාව. ඒකයි එච්චර බොන්න ඇත්තෙ.”
මිදුලේ සිටින තවත් කාගේදෝ කටහඬක් ඈතට ඈතට යන පියවතීට ඇසිණ.
https://archives.silumina.lk/2014/08/10/_art.asp?fn=cr1408103 |
ප්‍රංශ ජාතික ගී ද මෝපසාං ගේ කෙටිකතාවක් ඇසුරින්
පරිවර්තනය රංජිත් එස්. කේ. සූරියආරච්චි
ජුලියර් චිකොට් තානායමක් පවත්වාගෙන යන පුද්ගලයෙකි. ඔහු නොදන්නා කෙනෙකු මෙම ප්‍රදේශයේ සහ අවට ප්‍රදේශවල ද සොයා ගැනීමට අපහසුය. ඔහු ප්‍රසිද්ධියක් උසුලන්නේ තානායම් කරුවෙක් වශයෙන්ම නොවේ. ශූර කෛරාටික පුද්ගලයකු ලෙසය. යමක් තමාගේ කරගැනීමට ඔහුට අවශ්‍ය වුවහොත් එය කෙසේ හෝ තමා සන්තක කරගැනීම ඔහු විසින් කරනු ලබයි.
මෙම තානායම් කාරයා මැග්ලෝරි නමැති මහලු කාන්තාවගේ ගෙදර ඉදිරියේ තම කරත්තය නතර කළේය. හෙතෙම අවුරුදු හතළිහක් පමණ වයස ඇත්තෙකි. උස්වූ දේහයක් ඇති අයෙකි. මුහුණ රතුය.
ඔහු කඩුල්ල විවෘත කරගෙනම මිදුල මැදින් ඇවිද ගොස් ගෙට ඇතුළු විය. මෙම නිවසේ වෙසෙන මහලු කාන්තාවගේ මෙම නිවසට යාබදව තානායම්කරුවාට හිමි ඉඩමක් තිබේ. එම ඉඩමට එක්කර ගැනීම සඳහා මෙම මැහැල්ලගේ ඉඩම මිලයට ගැනීමේ බලාපොරොත්තුවක් ඔහු තුළ විය. මේ වන විට විසි තිස් වතාවක්ම එය මිලට ගැනීම සම්බන්ධයෙන් ඔහු උත්සාහ කළත් මහලු කාන්තාව හැමදාම එයට තම විරුද්ධත්වය දැක්වූවාය.
“මම උපන්නෙත් මෙතැන මැරෙන්නෙත් මෙතැන” යැයි කීම පමණක් ඇගෙන් ලැබෙන එකම එක පිළිතුර විය. මෙදින ඔහු එම නිවසට ගොඩ වන විට ඈ දොර අසල වාඩිවී අර්තාපල් ශුද්ධ කරමින් සිටියාය. ඇය ද සැත්තෑව ඉක්මවා වයස්ගත වී සිටියාය. ඉතා කෘශ වූ ශරීරයක් ඇත්තියෙකි. කුදු ගැසුණු ශරීරය ඇකිලී රැලි වැටුණු වියළි එකක් වුවද ඕ දැරියක මෙන් කඩිසර විය. ක්‍රියාශීලීය. චිකොට් ඉතාමත් කුලුපග ලීලාවෙන් ඇගේ පිටට තට්ටු කර ඈ සමීපයේ බංකුවක් මත වාඩි විය.
“ඉතිං අම්මෙ සැප සනීප කොහොම ද? ඔබ හැමදාම ලස්සනට සන්තෝෂයෙන් ඉන්න බව දැකීම මට සතුටක්” හෙතෙම කීවේය.
“බොහොම ස්තුතියි... කියන්න වැඩි වරදක් නැහැ. ඉතිං චිකොට් මහත්තය කොහොම ද සැප සනීප”
“ස්තුතියි වරදක් නැහැ. ඉඳහිට හැදෙන කොන්දෙ අමාරුවක් තියනව. ඒ හැර වෙනත් කියන්න තරම් කරදරයක් නෑ...”
“ඒක ලොකු වාසනාවක්...”
මීට පසු ඕ කිසිත් කතා නොකළාය. චිකොට් ඈ වැඩෙහි යෙදී සිටින අයුරු පරීක්ෂාවෙන් බලා සිටියේය. මහලු කාන්තාව ඇගේ ගැට සහිත නැමුණු ඇඟිලිවලින් බාල්දියක තිබුණු අර්තාපල් ගෙන අනිත් අතින් ගත් පරණ පිහියකින්, ලෙලි කෑලිවලට කපා දමමින්, ඒවා ශුද්ධ කොට වෙන වතුර බඳුනකට විසී කළාය.
ඇගේ වයසත් ශරීරයේ ස්වභාවයත් අනුව ඇගේ කඩිසර බව පිළිබඳව විමතියට පත් චිකොට් තමා මෙහි පැමිණි කරුණු පවසන්නට උත්සාහ කළ මුත් තරමක අපහසු තාවයක් දැනුණේය. එහෙත් ඔහු උත්සාහ ගෙන මෙසේ කීවේය.
“මැගී ලෝරි අම්මෙ මම... කියන්න හැදුවෙ” ඔහු සෙමෙන් පැවසුවේය.
“ඉතින්... ඒ... මොකද්ද?”
“ඔබේ මේ ඉඩම විකුණන්නෙ නෑ කියල ඔබ සහතික කරනව ද?”
“ඇත්තෙන්ම ඔව්... තවත් ඒ ගැන කතා කරන්න එපා. මම කිව්වොත් කිව්වාමයි...”
“හොඳයි... ඒ වුණත් අපි දෙන්නටම ගැළපෙන ක්‍රමයක් ගැන මම හිතාගෙන ඉන්නව... ඒක නම් කියන්නම ඕන...”
“ඒ... මොකද්ද...”
“මෙන්න අහගන්න... ඔබ මට ඉඩම විකුණනවා... ඒත් ඉඩම අයිති ඔබටයි...”
චිකොට්ගේ ප්‍රකාශයෙන් අන්දමන්ද වූ මහලු කාන්තාව දෑස් නළලට ගෙන බලා සිටියාය. ඉක්බිතිව ඇය අර්තාපල් ශුද්ධ කිරීම නවතා තානායම්කාරයා වෙත රැඳවූ දෙනෙතින් යුතුව කන් දුන්නාය.” හේ මෙසේ කීවේය.
“සෑම මාසෙකම මම ඔබට පවුම් හය බැගින් ගෙවන්නම්. ඔබට ඒක තේරෙනවා නේද? හැම මාසෙම මම ගෙදරට ඇවිත් ඔබට ඒ මුදල දෙනවා. එහෙම වුණා කියල දැන් ඔබ ඉන්න පිළිවෙළ වෙනස් වෙන්නෙ නෑ. ඔව් පොඩ්ඩකින් වත් වෙනස් වෙන්නෙ නෑ. දැන් මගේම මේ ගෙදර අයිති ඔබට. මා ගැන ඔබට මොකුත් කරදරයක් වෙන්න ඕන නෑ. ඔබට කරන්න තිබෙන එකම දේ මම දෙන සල්ලි ගැනීම පමණයි. ඉතින් මේ පිළිවෙළට ඔබ කැමැති ද?”
මෙසේ කියා ඔහු ඈ දෙස බැලුවේ මහත් ළෙන්ගතු කමකින් වගේ. ඒ විතරක්ම නොව තමා නිර්ලෝභීව අනුන්ට උදව් උපකාර කරන්නෙකුගේ ලීලාවෙන්. එහෙත් මහලු කාන්තාව සිතුවේ මෙය උගුලක් ද කියායි. එහෙත් ඇය ඒ බව නොහඟවා මෙසේ විමසා සිටියාය.
“මම ගැන බලනකොට මේක හොඳයි වගේ පේනවා. ඒත් මේ ඉඩම ඔබට ලැබෙන්නෙ නැතුව මේකෙන් ඔබට ඇති ප්‍රයෝජනය මොකද්ද?”
“ඒ ගැන ගැටලුවක් නෑ. ජීවත්ව ඉන්නතුරු ඔබට මේ ගෙදර ඉන්න පුළුවන්. මේක ඔබේ ගෙදර, ඔබට කරන්න තියෙන්නෙ මෙච්චරයි. ඔබේ මරණින් පස්සෙ මේ ගොවිපළ මට අයිති වන හැටියට නීතිඥයෙක් ඉදිරියේ ඔප්පුවක් අස්සන් කළාම ඇති. ඔබට බලන්න කෙනෙකුත් නෑ. ඉතිං මේ ක්‍රමය හොඳ මදි ද?”
මැග්ලෝරි මහලු කාන්තාව මවිත වූවාය. ඈ තුළ කලබල ස්වභාවයක් ඇති විය. කැමැත්ත දීමට ඈ තරමක් අදි මදි කළාය. එහෙත්,
“මේකට කැමැති නැහැ කියල මම කියන්නෙම නැහැ. ඒ වුණත් මේ ගැන කල්පනා කරල බලන්ට ඕන. සුමානෙකට පස්සෙ මෙහෙ එන්න එතකොට මට කල්පනා කරල අන්තිම වචනය කියන්න පුළුවන්” යි ඕ කීවාය.
චිකොට් එතැනින් පිටවූයේ අධිරාජ්‍යයක් අත්පත් කරගත් අධිරාජ්‍යයකුගේ ලීලාවෙනි.
මැග්ලෝරි අම්මා කල්පනා දාමයෙහි පැටලුණාය. ඕ එදින රෑ නොනිදා කල්පනා කරමින් ගත කළාය. දින හයක්ම තමාට කිසිවක් නිශ්චය කරගත නොහැකි ස්වභාවයෙන් පසු වූවාය. ඇයගේ අවාසියට හේතු වන යම් උගුලක් මේ යෝජනාවේ ඇතුළේ ඇතැයි ඕ සැක කළාය. එහෙත් කිසිවක් නොකොට මාස් පතා අහසින් වැටෙන්නාක් මෙන් ඇයට ලැබෙන පවුම් කාසි ගැන සිතු ඇය තුළ ඇතිවූයේ බලවත් තෘෂ්ණාවකි.
සති කිහිපයකින් චිකොට් අවසාන තීරණය දැන ගැනීම සඳහා පැමිණියේය. මාස් පතා පවුම් හය බැගින් ලබා දීමේ තීරණය වෙනස් වේදැයි සැකයක් සිත යට විය. මහලු කාන්තාව ඔහු සමඟ පිළිසඳර කතා කොට චිකොට්ගේ යෝජනාව පිළිගැනීම සඳහා තීරණය කරගත නොහැකි වූ බව දැන්වූවාය.
චිකොට් පුදුම විය. බලාපොරොත්තු සුන්වූ ලීලාවෙන් ඔහු මහලු කාන්තාව දෙස බලා සිටියේය. එවිට කාරණය තවදුරටත් චිකොට්ගේ සිතට වැද්ද වීමේ අදහසින් තමා ජීවත්වන කාල ප්‍රමාණය ගැන කතා කරන්නට පටන් ගත්තාය.
“ඇත්තෙන්ම මට හිතෙන විදිහට තව අවුරුදු පහ හයකට වඩා කලක් මට ජීවත් වෙන්න ඉඩ ලැබෙන්නෙ නෑ”
“ඒ... ඔබ හිතන හැටි... මට පේන හැටියට ඔබට තව වසර දහයක් නොවරදවාම ඉන්න පුළුවන්.”
ඇගේ සිතට එම අදහස කා වැද්දෙන අයුරින් ඉතා සන්සුන් ලෙස චිකොට් පැවැසුවේය. චිකොට්ගේ උත්සාහය සාර්ථකය. ඇය සතුටු වූ බවක් මුහුණේ දිස් විය.
“කමක් නෑ... මම ඒ අදහසට කැමැතියි”
මැග්ලෝරි මැහැල්ල මුලදී අකමැත්තක් පෙන්නුව ද තෘෂ්ණාව ඇය ගිලගෙන තිබු නිසා අවසානයේ ඊට එකඟතාවය පළ කළාය. ඊට පසු දිනයක සියලු කොන්දේසි සහිතව, ඉඩම මරණින් පසුව චිකොට්ට හිමිවන පරිදි තම කැමැත්ත නීතිඥ මහතෙකු ඉදිරියේ ලියවිල්ලකට අස්සන් තැබුවාය.
තවත් දිනක චිකොට් නිකමට පාහේ මැග්ලෝරි මහලු කාන්තාවගේ නිවසට ගොඩ වූවේය. මහලු කාන්තාව සුපුරුදු ලීලාවෙන් කඩිසරව වැඩ කරමින් සිටියාය. චිකොට් පැමිණි බවක් ඇය නොදැක්කාය. චිකොට් ඇය දෙස බලාගත් වනම සිටියේ ඇගේ කඩිසර කමට ශාප කරමිනි. ඔහු බලාපොරොත්තු වූයේ හිටියාටත් වඩා වියපත් මහලු වූ කාන්තාවකි. එහෙත් එසේ වූ බවක් නොපෙනේ. ඇය ඉක්මනින් මහලු නොවන්නා සේය. චිකොට්ට අවශ්‍ය ඇය ඉක්මනින් මිය යනවා දකින්නටය. එවිට ඔහු මාස්පතා ගෙවන පවුම් හය ගෙවීම නැවතෙනවා පමණක් නොව ඇගේ මරණින් පසු ඈ සතු ඉඩම ද ඔහුට හිමි වන්නේය.
තමා කරමින් සිටි වැඩය අහවර කර මැග්ලෝරි ආපසු හැරුණාය. චිකොට් ඒ අසල සිටගෙන සිටිනවා දුටු විගසම මුව පුරා සිනාසුණාය. අසුනක් පෑ සැණින් චිකොට් එහි අසුන් ගත්තේය. ඔහු පළමු දිනයේ මෙන් ඉතා කුලුපගව සුළු වේලාවක් ඇය සමඟ කතා කළේය.
“ඔබ බොහොම සුවෙන් ඉන්නවා. දකින්නත් ආසයි. මම ඔබට පුංචි ආරාධනාවක් කරන්න පිළිගන්නව ද?” චිකොට්ගේ අදහසින් මැග්ලෝරි වික්ෂිප්තව බලා සිටියාය.
“පුදුම වෙන්න දෙයක් නෑ. ඔබ කඩපොළට යන ගමන් අපේ ගෙදරටත් ගොඩවෙලා යන්න එන්න... කෑම ටිකක් කාල ප්‍රීති වෙලා යන්න පුළුවං... මොකද දැන් අපි හොඳ හිතවතුන්නෙ...”
මැග්ලෝරි මහලු කාන්තාවට මෙවැනි දෙයකට දෙවරක් ආරාධනා කිරීමට අවශ්‍ය නොවේ. ඊට දිනකට පසු කඩපළට යන දිනයේ ඇය එහි ගියාය.
තානායම්කරු මහත් සතුටට පත්ව බොහෝ සෙයින් ගරු සත්කාර කොට ඇයට සැලකුම් කළේය. ඉතා රසවත් ආහාර වේලක් පිළිගැන්වූවේය. ඇය ද ඉතා සතුටින් ආහාර ගත්තාය. තානායම්කාර චිකොට් තවත් කන්නට යැයි බල කළත් ඇය එය අපහසු බව පැවැසුවාය.
“අනේ එහෙනම් මෙයින් ටිකක් බිව්වොත් කන්න පුළුවන්” ඔහු මත් වතුර බෝතලයක් හා වීදුරුවක් පෑවේය. ඇය තරමක් පැකිළුණාය.
“බය වෙන්න එපා... ඒ තරම් සැර නෑ... ටිකක් රස බලන්න කො... මේ හොඳම වර්ගයේ බීම බව ඔබට තේරේවි” යැයි ඔහු කීවේය. ඉන්පසු ඔහු ඇයට පෙනෙන්නට මත් වතුර ස්වල්පයක් වීදුරුවට ගෙන ආස්වාදය බොහෝ කල් පවතින සේ බීම ස්වල්පයක් බැගින් තොලගින් ගෙන බිව්වේය. බඳුන හිස් වන විට ඉතිරි වන බින්දු ස්වල්පය තොලඟින් බිව්වේ ආස්වාදය තව ටික කලක් පවත්වා ගැනීමට මෙන්ය.
මේ බොන ආකාරය දුටු මැග්ලෝරි ද මත්ද්‍රව්‍ය ස්වල්පයක් ගෙන බිව්වාය. එය තරමක් නොකැමැත්තෙන් මෙන් ගත් ඇය ඊළඟ බීම ප්‍රමාණය ගත්තේ චිකොට්ගේ ඉල්ලීමටය. තුන්වන වීදුරුව පුරවා ඇය බිව්වේ ඔවුන් දෙදෙනාගේ සුහදතාවය වෙනුවෙන්ය. මෙසේ චිකොට්ගේ බසට රැවැටුණු ඇය සිව්වන බීම වීදුරුව බිව්වේ කැමැත්තෙනි. ඇය ආපසු යන්නට සූදානම් වෙද්දී මත් වතුර බෝතල් තුනක්ම තෑගි දුන්නේ ඔවුන්ගේ මිත්‍රකම පිළිබඳ දොඩවමිනි. ඉන්පසු ද කිහිප විටක්ම මත් වතුර බෝතල් කිහිපයක්ම ඇය වෙත තෑගි කර යැව්වේය.
දින කිහිපයකට පසු ඔහු නැවත මැග්ලෝරි ගේ නිවසට පැමිණියේ ඇය දොර ළඟ වාඩි වී සුප් හොද්ද සඳහා එළවළු සකස් කරමින් සිටියදීය. ඔහු ඇයට නොදැනෙන්නට ඇය කරා කිට්ටු වී මුහුණට මුහුණ ළංකොට ඇයගේ හුස්ම ආඝ්‍රාණය කළේය. දැනුණ මත්පැන් සුවඳ කෙරෙහි ඔහු තුළ ඇතිවූයේ මහත් සතුටකි.
ඔහු ගෙනැවිත් තිබු නව පන්නයේ බීම බෝතලය ඇය ඉදිරියේ තැබුවේය.
“ඉස්තරම්ම වර්ගයේ බීම වර්ගයක් මට ලැබුණා.” ඔහු කීවේය. දෙදෙනා එකට වීදුරු තුන බැගින් පානය කළහ.
කෙසේ වුවද මැග්ලෝරි මෙතරම් මහලු වී බීමට පුරුදු වී සිටීම ගැන වැඩි කල් යන්නට පළමු ඒ මේ තැන කතාබහ ඇති විය. ඇගේ කුස්සියේ ද, මිදුලේ ද, අහල පහල පාරවල්වල ද ඈ නොයෙක් විට වැටී සිට ලී කොටයක් මෙන් ගෙදර ගෙන එන ලදී.
මීට පසු චිකොට් ඈ බැහැදැකීම සඳහා නොගියේය. මිනිසුන් ඔහු සමඟ කතා කළ අවස්ථාවන්හිදී ඔහු ඇය ගැන කතා කළේ කනගාටුදායක මුහුණක් පෙන්වමිනි.
“ඒ ගෑනිගෙ වයසෙ හැටියට ඒ ගෑනි බොන්න පටන්ගත්ත එක ලොකුම කනගාටුවක්. මිනිස්සු නාකි වෙලා ඔහොම බොන එක මරණයට අතවැනීමක්.” ඔහු ඇය ගැන එසේ පැවැසුවේය. ඔහුගේ කතාව සැබෑ කරමින් ඊළඟ සීත සෘතුවේ ඈ මළාය. පසු දින ඇගේ ආදාහනය කරන ලදී.
චිකොට් එදිනම ගොවිපළේ භුක්තිය බාර ගත්තේය. “ඈ කළේ මහ මෝඩකමක්. බීමට පුරුදු නොවුණ නම් ඇයට තව කාලයක් ජීවත් වෙන්න තිබුණා...”
චිකොට් මවාගත් ශෝකයකින් පැවැසුවේය.
https://archives.silumina.lk/2014/03/30/_art.asp?fn=cr1403303
ගේට්ටුවට සවිකළ ලියුම් පෙට්ටිය නිසාත් මහා මාර්ගයට මුහුණ ලා පිහිටි විශාල පොල්වත්තක් මැද නිවස පිහිටා තිබූ නිසාත්, ලියුම් බෙදන්නකු වසයෙන් සිරිමල් අඩුවෙන්ම සම්බන්ධකම් පවත්වා තිබුණේ එම නිවෙස සමඟ ය. ඉඳ හිට වත්ත පිටියේ ගැවසුණු කම්කරුවකු හෝ මෙහෙකාරියක හැරෙන්නට, ඔහු එහි පදිංචිකරුවකු වත් දැක නොතිබුණේ ය.
එසේ හෙයින් එදින ගේට්ටුව අසළ තරුණියක රැඳී සිටිනු දැකීමෙන් සිරිමල් පුදුමයට පත්විය. ඇය සිටියේ තමා පැමිණෙන තුරු ය, යන හැඟීම ඇති වූ හෙයින් සිරිමල් පා පැදියේ වේගය අඩුකොට ඇය දෙස කුතුහලයෙන් බැලුවේය.
හොරයක් කරන්නට සූදානම් වන්නකු මෙන් වටපිට බැලූ තරුණිය,
”අ... යි.. ය... ට පුළුවන්ද? ම... මට පොඩි උදව්වක් කරන්න...? යි ඇසුවාය.
”පු..ළු..ව..න් දෙයක් නම් කරන්නම් කියන්න...” සිරිමල් පැවසුවේය.
”අද හෙටම මගෙ නමට ලිපියක් ඒවි... අයියට පුළුවන්ද ඒ ලියුම මේ පෙට්ටියට නොදා මගෙ අතටම දෙන්න?” යයි ඇය කී විට සිරිමල්ට සිනා පහළ විය.
”ඕකත් කියන්න දෙයක්ද නෝනා!... නෝනගෙ ලිපි නෝනට නොදී ඒව මම කාට දෙන්නද...?” යයි කිවූ සිරිමල් අනතුරුව කල්පනා කළේ එයාගෙ ලිපි එයාටම දෙන්න නම් ‘මම එන වෙලාවට එයා මෙතන ඉන්න එපායැ’ කියාය...
සිරිමල්ගේ සිතිවිලි වටහා ගත්තාක් මෙන් කතා කළ තරුණිය...
”අයිය බය වෙන්න එපා... ඔයා ඈත එනව මට ඉස්තෝප්පුවට පේනව... ඒ වෙලාවට මම නොවරදවාම මෙතනට ඇවිල්ල ඉන්නම්” යයි කීය. අනතුරු ව, “අනේ අයියෙ දිගට ම ලිපි ඒවි... බැරි වෙලාවත් අයිය එනකොට මම මෙතන නොහිටියොත් අයියට පුළුවන්ද ඒ ලියුං ළඟ තියන් ඉඳල, පස්සෙ මට එක සැරේ දෙන්න...?” යයි බැගෑපත් වූ විට තරුණියට වුවමනා වී ඇත්තේ තම පෙම්වතාගෙන් ලැබෙන ලිපි මවුපියන්ට හොරා ලබා ගැනීම බව වටහා ගත් සිරිමල් ඇයට උදව් කළ යුතු යැයි සිතුවේ තම ජීවන සහකාරිය හමුවූයේ ද රැකියා තුළින් ම නොවේදැයි සිහිපත් වූ බැවිනි.
”ආ... නෝන ඒක ගැන බය වෙන්න එපා.. මම ඒ විදියට කරන්නම්” යයි සිරිමල් කී විට ඔහු වෙතට වඩාත් කිට්ටු වූ තරුණිය “ෂුවර්... එ..ක..ට..ම!?” යයි ප්‍රශ්න කළා ය.
සිරිමල් එයට ප්‍රතිචාර දැක්වූයේ ද “ඔව්... ෂුවර් එකටම...” යයි කියමිනි..
”නෝනගෙ නම මොකක්ද?” යි අනතුරුව සිරිමල් ඇසුවේය. ඔහු එසේ ඇසුවේ... ‘නම නොදැන ලිපි භාරදෙන්නේ කෙසේදැ’යි යන ප්‍රශ්නය පැනනැඟුණු හෙයිනි.
”හා... නේ මට කලබලයට ඒකත් කියන්න අමතක වුණා.... මගෙ නම ‘නිල්මිණි’... ‘නිල්මිණි දන්දෙනිය...’ යයි සිනහ වෙමින් පැවසූ තරුණිය “එහෙනම් මම යන්නම් අයියා” කියමින් තම නිවෙස දෙසට දුව ගියා ය.
ඇයට දණහිස දක්වා දික්වූ සුන්දර වරලසක් ඇති බව සිරිමල් දුටුවේ එවිට ය.
කුළුඳුල් දරුවා බලාපොරොත්තුව සිටි බිරිය සමඟ එදින රාත්‍රී කෑම මේසයට වාඩිවූ සිරිමල් “නෝනෙ අද හරි වැඩක් වුණානෙ” යයි පැවසූ විට “මොකක්ද අප්පොච්චියෙ ඒ හරි වැඩේ..!?”... යයි.. ඇය විමසුවේ මහත් උනන්දුවෙනි.
අනතුරුව එදින තරුණිය හමුවූ තැන් සිට සිදුවූ සියල්ල විස්තරාත්මක ව පැවසූ සිරිමල්, තම කතාව අවසන් කළේ...” ... මම හිතා ගත්ත, එයාට කොහොම හරි උදව් කරන්න...”... යයි කියමිනි.
”අපොයි ඔව්...! උදව් කරන්න.. ඕනෙ නේන්නම්... ඔය මහත්තයත් ඒ දවස්වල මට හොර ලියුම් දුන්න මතක නැද්ද...? ඒව හම්බ වෙනකන්... මමත් හිටියෙ කොච්චර නොඉවසිල්ලෙන්ද!?” යයි බිරිය පැසූ විට දෙදෙනා ම තම දෑස් වලට කඳුළු උනන තෙක් සිනාසුණෝ ය.
”කොහොමද ළමය ලස්සනද...?” යි අනතුරුව බිරිය ඇසුවා ය.
”ලස්සනද... ත් අහනව...! හරිම... ලස්සනයි... අහිංසක කම වගේ ම තමයි පින් පාට...”... සිරිමල් පිළිතුරු දුන්නේ ය.
”මම හිතන්නෙ අපි දෙන්න වගේම ඒ දෙන්නගෙත් කුළුඳුල් ප්‍රේමේ වෙන්න ඇති...” යැයි බිරිය පැවසූ විට “වෙන්න... ඇ... ති” යයි... කියමින් සිරිමල් කෙටියෙන් පිළිතුරු දුන්නේය.
අනතුරුව ඔවුන් දිගින් දිගට ම කතා කළේ තමන් අනුමාන කළ තරුණියගේ අනිකුත් තොරතුරු පිළිබඳ ව ය.
”මම හිතන්නෙ එයා කොළඹ ලොකු කොලීජියක ඉගෙන ගන්නව ඇති...”
”ඒක තමයි මම එයාව මීට ඉස්සර දැකල නැත්තෙ...” සිරිමල් කීවේ ය.
”මේ දවස්වල විභාගෙකට ලියල ප්‍රතිඵල එනකන් ගෙදරට වෙලා ඉන්නව ඇති...” යයි කිවූ බිරිඳ අනතුරුව මඳක් කල්පනා කරමින් සිට “එහෙම නැතිව හොරේ අහුවෙලා ගෙදරට කොටු කරගෙන ඉන්නවද දන්නෙත් නෑ...” යයි කී විට සිරිමල් එතෙක් තමන්ගෙන්ම අසමින් සිටි ප්‍රශ්නයක් බිරියගෙන් ඇසුවේය.
”මටත් වෙලාවකට එහෙම හිතුණ... ඒ... වුණාට වෙලා තියෙන්නෙ එහෙම දෙයක් නම්... ලිපි..ලිය..ලිය ඉන්නෙ නැතිව ඇයි ඒ..ගොල්ලන්ට බැරි ටැලිෆෝන් එකෙන් කතා කරන්න?” යයි සිරිමල් කී විට ඔහුගේ බිරිය සිනාසෙන්නට විය.
”හා... නේ... ඇත්තටම... ඔයත්... කියන... දේවල්..!? ලියනව... වාගෙ... පුළුවන්ද...? ඔය පෙම්.. හැඟුම්... කියනදේවල්... ෆෝන්.. එකෙන්.. කියන්න?” යයි බිරිඳ පැවසූ විට සිරිමල්ගේ පිළිතුර වූයේ “බ..ල..පු..ව..හ..ම ඒ..ක..ත් ඇත්ත තමයි...” යන්න ය.
පසුදින රාජකාරියට පිටත්වීමට සූදානම් වන අවස්ථාවේදීම සිරිමල්ගේ සිහියට නැඟුණේ එදින තරුණියට ලැබීමට නියමිත ලිපිය ය. ඔහු බෙදීමට ඇති ලිපි තේරුවේ ද වෙනදාට වඩා උනන්දුවකිනි. කෙසේ වුවද බලාපොරොත්තු වූ ලිපිය නොතිබීම සිරිමල්ගේ කණස්සල්ලට හේතු විය.
වැඩ නිමවී නිවසට ගොඩවැදුණු හැටියේම ඔහුගේ බිරිය “අර ලිපිය තිබුණද?” යි ඇසූවිට.. “නෑ...” යයි සිරිමල් කෙටියෙන් පිළිතුරු දුන්නේ ඒ පිළිබඳව ඔහු තුළ ඇතිවූ කණස්සල්ල හේතුකොට ගෙන ය.
”මං හිතන්නෙ හෙ..ට ති..යේ..වි” යයි බිරිය කී විට සිරිමල්ට ද එසේ සිතුණි.
අනතුරුව ගෙවී ගිය දින කීපය තුළද බලාපොරොත්තු වූ ලිපිය නොතිබූ අතර, තමා එනතුරු පාර අද්දර රැඳී සිට, හිස් අතින් ආපසු යන තරුණිය දැකීම පවා සිරිමල්ගේ සිත පාරවන දසුනක් විය.
සතියේ ලිපි බෙදාහරින අවසාන දිනය වූ එදින තමා එතෙක් බලාපොරොත්තු වූ ලිපිය දක්නට ලැබීමෙන් සිරිමල්ට ඇතිවූයේ මහත් සතුටකි. ‘නිල්මිණි දන්දෙණිය’ ලෙස හැඩ වැඩ දැමූ අකුරින් ලිපිනය ලියා තිබූ එම සුදු ලියුම් කවරය අන් ලිපි වලට වඩා බරින්ද වැඩි විය.
අනතුරුව සිරිමල් තරුණිය රැඳීසිටි ස්ථානය බලා ගියේ ජය කණුව කරා ඇදී යන තරගකාරී පාපැදිකරුවකු මෙනි.
ලියුම් මල්ලේ කොනක වෙන ම තබා තිබූ ලිපිය ඉවතට ගත් සිරිමල් එය තරුණිය අත තැබූයේ...
’මේ... ක... නේද... මෙච්චර කල් බලාගෙන හිටියෙ!' කියමිනි.
කෝපිමල් පොකුරක් මෙන් එළිය වුණු සිනහවකින් තම දෝතට ගත් ලිපිය දෙස ම මද වේලාවක් බලා සිටි තරුණිය අනතුරුව “තෑන්ක් යූ අයියෙ” කියමින් පසෙකට හැරී එය තම ගවුම් කර තුළින් රිංගවනු දුටු සිරිමල්ට මද සිනා පහළ විය.
එදින ඔහු නිවසට ගොඩ වූයේ “ඔන්න නෝනෙ අද යා..න්..ත..ම් අර ලිපිය තිබුණ” යයි කියමිනි.
"කෙල්ලගෙ ඔළුවෙ මලක් පිපුණ වාගෙ තියෙන්න ඇති” යයි කියමින්, බිරිය එයට ප්‍රතිචාර දැක්වූ විට...” මටත් හරියට බරකින් නිදහස් වුණා වගේ”... යයි සිරිමල් කීවේ සැනසුම් සුසුමක් ද හෙළමිනි.
පසු දිනද තරුණිය තමා එන තුරු රැඳී සිටිනු දුටු සිරිමල් පුදුමයට පත්විය.
කඩිමුඩියේ සිරිමල් වෙත පැමිණ තරුණිය “අනේ අයියෙ තරහ නැතිව මෙ...න්...න මේක තැපෑලට දා..න..ව..ද? ම..ම දන්නෙ නෑ අයියට කොහොම ස්තූති කරන්නද කි..ය..ල..?” යයි කියමින් සුදු කවරයක් සහිත ලිපියක් සිරිමල් අත තැබුවා ය.
”ස්තූති නොකළාට කමක් නෑ අපිටත් කේක් කෑල්ලක් හම්බුණොත් ඒ හොඳටෝ...ම ඇති” යයි... ලිපිය අතට ගනිමින් සිරිමල් කීවේ ය.
එවිට හැකිලෙන නිදිකුම්බා පඳුරක් මෙන් ලජ්ජාවෙන් ඇඹරුණු තරුණිය “අ..යි..ය බැ..ඳ..ල..ද?” යි ඇසුවේ, සිරිමල් ඇසූ දෙයට, පිළිතුරු දීම මඟ ඇරීමට මෙනි. “ඔවු බැඳල.. මේ දවස්වල රුවනිට බබෙක් හම්බ වෙන්න ඉන්නෙ..”
”රු..ව..නි!.. රුවනි කියන්නෙ එයාගෙ නමද...?”
”ඔවු...”
”ල...ස්..ස..න නම... නෝනත්... ල..ස්..ස..න..ද...?”.. ඇය සිනාසෙමින් ඇසුවාය.
”ඔවු... ඔය නෝන වගේ ම ලස්සනයි...” යයි සිරිමල් ද සිනහවෙමින් පිළිතුරු දුන් විට “මං මතක් කළා කියන්න” යයි පවසමින් ඇය පුරුදු දඟකාර ගමනින් ආපසු දුව ගියාය.
අනතුරුව ගෙවීගිය සති මාස කීපය තුළ සිරිමල් ගේ රාජකාරියේ විශේෂ අංගයක් වූයේ තරුණිය හා ඇයගේ පෙම්වතා අතර ලිපි හුවමාරු කරගැනීමට උදව් කිරීමය.
ඒ අතරතුර දවසින් දවස සොම්නසට පත්වන තරුණිය දැකීමෙන් සිරිමල්ටද එවැනිම සතුටක් ඇතිවීය.
මාස කීපයක් ගතවූ පසු දිනක් තරුණිය හදිසියේම “අයියේ අදත් ලිපියක් නැත්දැ?” යි සිරිමල්ගෙල් විමසුවා ය.
පසුගිය දින කීපය තුළ ඇයට සුපුරුදු ලිපිය ලැබුණෙ නෑ නොවේදැයි සිරිමල්ගේ සිහියට නැඟුණේ එවිට ය.
”මො..ක..ව..ත් ප්‍ර..ශ්..න..ය..ක් ද ද..න්..නේ නෑ...’ යන සිතිවිල්ල ඇති වූ හෙයින් “හෙට ති..යේ..වි නෝන” යයි කියමින් සිරිමල් ඉක්මනින් ඉවත්ව ගියේ ය.
අනතුරුව ගෙවීගිය දින කීපය තුළද තරුණිය නමට ලිපියක් නොවීය.
මුල් අවස්ථාවේදි මෙන් සිරිමල් නැවතත් තරුණිය ගේ ලිපිය ගැන අවධානය යොමු කරමින් ලිපි තෝරන්නට විය. නමුදු එවැන්නක් නොවීය. ඒ වෙනුවට සිදුවූයේ තරුණිය විසින් තැපැල් කිරීම සඳහා භාරදෙනු ලබන ලිපි සංඛ්‍යාව හා ඒවායේ බර වැඩිවීම පමණි.
අන් අය මෙන් “ලිපි තියෙනවාද?”යි විමසීමේ පුරුද්දක් එතෙක් නොතිබූ ඇය දැන් දැන් එසේ අසන්නටද පටන් ගෙන තිබුණි. එයට පිළිතුරු වශයෙන්... නෑ... යයි කීමට තරම් ශක්තියක් නොතිබූ හෙයින් එයට සිරිමල් දුන් පිළිතුර වූයේ “හෙ...ට. තියේවි.. නෝන...” යන්න ය.
”හ...රි. වැඩේනෙ මේ ළමයට අදත් ලියුමක් තිබුණෙ නෑ... නෙ” යයි සිරිමල් කීප දිනක් ම තම බිරියට පැවසූ අතර ඒ සෑම අවස්ථාවකම ඇය “ප...ව්.. දෙ...යි..ය..නේ!” කියමින් දිග සුසුමක් පිට කළා ය.
දිගින් දිගටම ලිපි නොලැබී සති කීපයක් ගත වෙත්ම තරුණියගේ මුහුණේ එතෙක් තිබූ කාන්තිය වියැකී යනු දුටු සිරිමල්ටද මහත් ශෝකයක් දැනුණි.
අවසානයේ තරුණිය තැපැල් කිරීමට භාරදෙන ලිපිද නතර වූ අතර ඇයද පෙනෙන්නට නොසිටියාය.
සිරිමල්ට හැඟුණේ තමා පැමිණෙන තුරු තරුණිය රැඳී සිටීමට පුරුදුව සිටි ස්ථානයද පාළුවට ගොස් ඇති සැටියෙකි.
ටික දිනකට පසුව ඔහුට තම රාජකාරි වැයික්කිය තුළ ලිපි බෙදා හැරීමද අප්‍රසන්න දෙයක් බවට පත් විය.
දිනක් තැපැල් ස්ථානාධිපතිතුමා කාර්යාලයේ තනිව සිටින අවස්ථාවක් බලා ඒ තුළට රිංගූ සිරිමල් “ස...ස...ස...ර් මට වෙ..නි..න් වැ.යි..ක්..කි..ය..ක ලියුම් බෙදන්න හදල දෙන්න පුළුවන්දැ?” යි.. ඇසුවේය.
පුදුමයෙන් ඔහු දෙස බැලූ තැපැල් ස්ථානාධිපති තුමා, “ඇයි සිරිමල් මේ හ..දි..ස්..සි..යෙ.!?”..යයි ඇසූ.. විට, එයට එකවර පිළිතුරක් දී ගත නොහැකි වූ සිරිමල්, බිම බලාගෙන මාපට ඇඟිල්ලෙන් බිම හාරන්නට විය.
https://archives.silumina.lk/punkalasa/20130217/_art.asp?fn=ar1302173
ආදරණීය චූටි බේබිට!
මේ ලියුම ලියන්න ගත්තේ දිව්‍යලෝකෙට තැපෑලෙන් ලියුමක් යවන්න කොහෙත් ම බැරි බව නො දැන නෙවෙයි. ඒත් ඉන්තේරුවෙන් ම දිව්‍යලෝකෙට ගිහිං ඉන්න චූටි බේබිට ඇහෙන්න මං පල්ලියකට ගිහින් යාච්ඥා කරන්නේ කොහොමද? හිරගෙයක් කිව්වට මේක හරියට ගුහාවක් වගේ. පුදුම ම අන්ධකාරයක්. හතර පැත්තෙන් ම උස බිත්ති. කොටු කරපු කුකුළු කූඩුවල ඉන්න කුකුළු පැටවුන්ට වුණත් මීට වැඩිය කොච්චර නං ඉර එළිය වැටෙනවා ද? එළියට පැනලා අහසට අත් උස්සලා දිව්‍යලෝකෙ ඉන්න චූටි බේබිට ඇහෙන්න මගේ දුක කියන්න, දුක කියලා සමාව ඉල්ලන්න හිතෙන වාර අනන්තයි. ඒත් කොහොම ද? අඩියෙන් අඩියට ම මුර බල්ලෝ.
පුංචි බේබි ව පරලෝකෙට යවන්න මං හීනෙකින්වත් නො හිතපු බව විතරක් මට දිවුරලා කියන්න පුළුවන්. දිව්‍යලෝකෙ ගිය අයට හරි වැරදි හොඳ හැටියට පේනව යි දැනෙනව යි කියල යි මං අහලා තියෙන්නෙ. ඒක නිසා දැං චූටි බේබිට මගේ ඇත්තම තත්ත්වේ නියම විදිහට ම පේනවා ඇති. ඇත්තමයි චූටි බේබි, මේක නං හරිම අසාධාරණ නඩු තීන්දුවක්. ජේසුස් වහන්සේ ව කුරුසෙ ඇණ ගහන්න පිලාත් නඩුකාරයා තීරණේ කළා වගේ. කොහොම වුණත් මං පාපොච්චාරණය කරන්න ඕන. කරන්න ම ඕන. පාපොච්චාරණය කරන්න පල්ලියේ ස්වාමි හම්බ වෙන්න දැන් මට පුළුවන් කමක් නෑ. දිව්‍යලෝකෙට ඇහෙන තරම් හයියෙන් කට ඇරලා මගේ දුක්ගැනවිල්ල කියන්න ඕන වුණත් මේ හිරගේ ඇතුළෙ කොයින් ද ඒකට වත් නිදහසක්? මගේ කියල බලුබල්ලෙක්වත් නැති මේ දීපංකරේක මරණ වරෙන්තුව ලියාගෙන ඉන්න මං තට්ට තනියෙන් මොනව ද කරන්නෙ?
මරණ දඬුවමට නියම වෙලා ඉන්න නිසා කැමති කෑමක් බීමක් ඉල්ලා හිටින්න මට අවසර තියෙනවා. මං රෝල් පාන් ගෙඩියක් ඉල්ලුවේ ඒවා ඔතං එන සුදු කඩදාසිය ගැන හිතල මිසක් රෝල්පාන් කන්න හිතුණ නිසා නෙවෙයි. මරණ තුනක් මැද්දෙ පැණි කෑව මිනිහෙක් ගැන හිතන කොටත් මට නං පුදුමයි. ඉතිං චූටි බේබි, මං මේ ලියුම ලියන්නෙ රෝල් පාන් ගෙඩිය ඔතා ගෙන ආව සුදු කඩදාසියේ. දිව්‍යලෝකෙ ඉන්න බේබිට මේක බලාකියාගන්න අපහසුවක් වෙන එකක් නැතැ යි කියල මගේ මොළේට දැනෙනවා. පුංචි බේබිට මං ලියන භාෂාව තේරුම් යාවි ද දන්නෑ. ඒත් දිව්‍යලෝකෙ ඉන්න ඇත්තන්ට භාෂා ප්‍රශ්නයක් නැහැ යි කියල යි මං අහල තියෙන්නෙ. ඒක නිසා මේක කියවන්න බේබිට පුළුවන් වේවි යි කියල විශ්වාසයක් මගේ හිතේ තියෙනවා.
පුංචි බේබිගේ වගේ ලස්සන රෝස පාට කම්මුල් මං දැකලා තියෙන්නෙ අපේ රටේ බෝනික්කන්ගෙ විතරයි. ඒත් මං පුංචි කාලෙදි වත් ඒ වගේ බෝනික්කො එක්ක සෙල්ලම් කරල නැහැ. මගේ පුංචි කාලෙදි මං සෙල්ලම් කළේ රෙදි බෝනික්කෙක් එක්ක. හැමෝම ඌට කිව්වේ ‘විහිළු බබා’ කියල. රෝස පාට කම්මුල් තියන, නිල් පාට ඇස් තියන ලස්සන බෝනික්කෙක් මට අරං දෙන්න අපේ අම්මට සල්ලි තිබුණෙ නෑ. අපි හරිම දුප්පත්. මං ජීවත්වුණේ අතුපැලක. ඒත් මං අවුරුදු තුනක් විතර ඉස්කෝලෙ නං ගියා. මෙහෙම අකුරු ලියන්න ඉගෙන ගත්තෙ ඒකෙන්.
මගේ පරණ කතන්දරවලින් චූටි බේබිට පලක්, ප්‍රයෝජනයක් නැති බව මං දන්නෙ නැතුව නෙවෙයි. ඒත් මං හුඟක් ම ආදරේ කරන, මට හුඟක් ම ළෙන්ගතු වෙලා උන්න පුංචි බේබිට නො කියා වෙන කාට ද මං මේව කියන්නෙ?
මං ලොකු මහත් වෙන්න වෙන්න අපේ ගෙදර ප්‍රශ්න පැටවු ගැහුව වගේ. මට බාල නංගිලා තුන්දෙනාටයි, චූටි මල්ලිටයි බඩගින්නෙ නිදාගන්න සිද්ධ වුණු දවස් කොච්චරක් නං තිබුණයි කියල ද? බඩගින්න වැඩිකමට නිදි නැතුව පැදුරුකඩමාල්ලෙ පෙරළි පෙරළි උන්න රෑක මහවැස්සක් කඩා වැටුණ ම අපි සීතලෙන් ගැහෙන්න ගන්නව. මං හිතන විදිහට රූස්ස ගහක හෙවණ වුණත් අපේ වහලට වැඩියෙන් අපි ව වැස්සෙන් බේරගන්නවා. ඒ තරමට ම ඇද වුණු හිල් වුණු වහලක් තිබුණ ගේක යි අපි පස්දෙනෙක් පදිංචි වෙලා උන්නෙ.
ටිකක් ලොකු මහත් වුණු දා ඉඳල ම මට ඕන වුණේ ගේ හදාගන්න. මැද පෙරදිග රටක ගෘහ සේවිකාවක් හැටියට රස්සාවක් කරන්න මං හීන මැව්වයි කිව්වත් බොරු නෑ. මට වැඩියෙම් ම වුවමනා වුණේ නො තෙමී ඉන්න පුළුවන් ගෙයක් හරිගස්සන්න යි. ඒක නිසා රට රස්සාවක් හොයාගන්න මං වින්දෙ පුදුම දුකක්. රට රස්සා හොයල දෙන කොළඹ ඒජන්සිවලට මං කී ගමනක් නං පයින් ම ගෑටුවයි කියල ද? ඒත් අවුරුදු ගාණක් යනකම් ම මට කිසිම රස්සාවක් හොයාගන්න පුළුවං වුණේ නෑ. අපේ ලොකු මාමා මේ රටේ ගෘහසේවිකා ඇබෑර්තුවක් ගැන කිව්වෙ අපේ රටේ ම ගෙදරක වැඩකාරකමක් හරි කරන්න මං හිත හදාගත්තට පස්සෙයි.
රස්සාවට මුලින් ම බාධා කළේ මගේ ළාබාල වයස. වයස වෙනස් කරලා ව්‍යාජ ලියකියවිලි හරිගස්සන්න තවත් යුද්ධයක් කරන්න වුණා. කොහොම වුණත් රස්සාව හරි ගිහිං ගමන ඉස්තීර වෙලා කටුනායක අහස්යාත්‍රා තොටුපළට අඩිය තිව්ව දවසෙ මට හිතුණෙ මං දිව්‍යලෝකෙට යන දොර ඇරගත්ත කියල. අහස්යාත්‍රාව අහසට නගින කොට ඉෂ්ට දේවතාවෙක් මාව දිව්‍යලෝකෙට උස්සාගෙන යනව වගෙයි මට දැනුණේ. ඒ පැය පහ තිස්සේ මොන තරං බලාපොරොත්තු කන්දරාවක් මගේ හිතේ රජ කෙරුවයි කියල ද? මම මේ යන්නෙ මගේ මරණ වරෙන්තුව ලියාගන්න යි කියලා මං කොහොමද හිතන්නෙ? මාත් එක්ක ඒ අහස් යාත්‍රාවෙන් මාරයාත් පිටත් වුණ බවක් කොහොම ද මං දැන ගන්නෙ?
මොනව වුණත් මට කරන්න තියෙන්නෙ චූටි බේබි ව බලාගන්න එකයි කියල කිව්වට පස්සෙ පුදුම සතුටක් තමයි මගේ හිතට දැනුණෙ. චූටි බේබිගෙ සිනිඳු කම්මුල් අතගාන ගමං මට අනේක වාරයක් හිතුණෙ මගෙ චූටි මල්ලියටත් ඒ වගේ ලස්සන සිනිඳු කම්මුලක්, වීදුරුව වගේ විනිවිද පේන හමක් නො ලැබුණේ ඇයි කියලයි.
චූටි බේබි නාවන, කවන, පොවන හැම වෙලාවක ම මට චූටි බේබි ගැන හිතුණේ මගේ කුසින් ම උපන් දරුවෙක් හැටියට යි. ඒ තරම් ආදරෙන් කරුණාවෙන් හිටපු මේ අවාසනාවන්ත කෙල්ල චූටි බේබි ව සදාකාලික නින්දකට පත් කරන්න හිතයි කියල චූටි බේබිට වත් හිතන්න පුළුවන්ද?
මට මාරය කැඳෙව්වේ ඒ දරුණු ඉසේ රදේ කියලයි දැන් මට හිතෙන්නෙ. ඒ කරුම ලෙඩේ මට හැදෙන්න ගත්තේ පුංචි කාලෙ ඉඳලමයි. ඒකට ‘ඉරුවාරදය’ කියලයි ගමේ ඈයො කිව්වේ. බේත් හේත් කලාට ඒක නිට්ටාවක් දැක්කෙ නැහැ. බේත් හේත් වුණත් පිළිවෙළකට කරගන්න අමාරු වුණේ නැති බැරි කම නිසාමයි. මට හොඳට මතකයි. එදා ඉරුවාරදේ හොඳටම වැඩි වුණු දවසක්. ඔළුව පුපුරන්න එනව වගේ මට දැනුණේ. මං හරිම අමාරුවෙන් තමයි චූටි බේබි නෑව්වේ, කැව්වෙ, පෙව්වෙ.
ඒත් එදා රෑ පුරා ම මට නිදිවරන්න සිද්ධ වුණා. මොන පුදුමයක් ද මන්දා චූටි බේබි එදා රෑ විනාඩි දහයෙන් දහයට නැගිටලා ඇඬුවේ හීනෙන් බය වුණා වගේ. රෑ එළිවෙන කොට ඔළුව උස්ස ගන්න බැරි අමාරුවක් මට දැනුණා. මැඩම්ට මගේ අසනීපය ගැන නො කියා ඉන්න මං පරිස්සම් වුණේ ආපහු ලංකාවට යන්න සිද්ධ වේවියි කියල බයක් දැනුණ නිසයි. කොහොම වුණත් පහුව දා උදේ අල්ලපු ගෙදර ඉන්න වැඩකාර කෙල්ල අපේ ගෙදරට ලොකු වටලප්පම් පළංගානමක් අරගෙන ආවා තවත් මොනව ද මං අහලවත් දැකලවත් නැති කෑම ජාති ගොඩකුත් එක්ක. ඒ ගෙදර බේබිගෙ උපන් දිනේ කියලයි කිව්වෙ. ඒ කෙල්ලගෙ නම හිමාලි. එයත් ලංකාවේ. හිඟුරක්ගොඩ පැත්තෙ දුර ඈත ගමක කෙනෙක්. ගමේ නම දැං මට මතක නෑ. මං ඔළුවට අත තියං ඉන්නව දැකලා හිමාලි ඇහුවා ඇයි කියලා. එතකොටයි මං මගේ ඉරුවාරදේ ගැන ඇත්තම කිව්වෙ.
”ටිකක් නිදාගන්න තිබුණ නං මේක අඩු වෙනවා. කොහෙද ඊයේ ඉඳම් ම අපේ බබාට නින්ද යන්නෙත් නැහැ නෙ.”
”ආ.. ඕක මොකක්ද?” කියලා හිනාවුණ හිමාලි මට ටිකක් ළං වුණා. ළංවෙලා කනට කරලා පුංචි රහසක් කිව්වා.
බබාට කිරි ටිකක් වැඩියෙන් පොවන්න. බබා හොඳට නිදාගනියි.
”කොහොමද ඉතිං ඒක කරන්නෙ?”
”අනේ මෝඩි” කියලා හිමාලි හිනාවුණා.
”පුළුවං තරං කිරි පොවන්න. බඩ පිම්බෙන තරමට. බබාට මුකුත් වෙන්නෙ නෑ. මං කොච්චර සැරයක් අත්හදා බලපු ගේමක් ද ඔය” කියල හිමාලි සහතික වුණා.
ඒ වැඩේට හිත හදාගන්න එක මට ලේසි පාසු කාරියක් වුණේ නෑ. ඒත් එදා රෑ චූටි බේබි ව නිදි කරන ගමං මගේ ඇස් දෙක කිරි බෝතලේ දිහාට කීප වරක් ම ඇදිල ගියා. එදත් කලින් දා වගේමයි. චූටි බේබි නිදාගත්තෙ ම නෑ.
දරන්න බැරි ඉසේ රදේ මාව කොට්ටෙට පෙරළලා දැම්ම වගේ. මං බේබි ව පරක් කර ගන්න මොන තරමක් නං කවි සින්දු කිව්වයි කියල ද? ඒත් බේබි ඇහැ ඇරගෙන. රෑ දොළහ විතර වෙන කොට මගේ ඔළුව තෝන්තු වෙලා වගේ තිබුණෙ. මං කිරි බෝතලේ අතට ගත්තෙ මං උන්න කාමරේ, ටීවී එක, තොටිල්ල දෙකක් වෙලා පේන්න ගත්තට පස්සෙ. බෝතලේ පිරෙන්න කිරි වක් කරලා මං චූටි බේබිගේ කටට හැළුවා. දෙවැනි පාරටත් එහෙම කළා. පුංචි බේබි මූණ හරවන කොට, අඬන කොට මං ටිකක් දහිරිය දාලා අත තද කළා. එච්චරයි. එච්චරමයි. ඊට පස්සේ චූටි බේබිට නින්ද ගියා. මමත් දෙවියන් වහන්සේ සිහිකරලා කුරුසය ඇඳගෙන ඇඳට වැටුණා. මට ඇහැ ඇරුණේ උදේ වෙලා. කවුදෝ මාව තදේට හොල්ල හොල්ලා යටිගිරියෙන් බෙරිහන් දෙන සද්දෙට.
මැඩම් ඒ කෑගැහුවෙ ‘මොනවද යකෝ උඹ මේ මගේ කිරිසප්පයට කළේ’ වගේ ප්‍රශ්නයක් අහල වෙන්නැති කියලා මට තේරුම් ගියේ පස්සෙ. මං පුදුම වෙලා බේබි දිහා බැලුවා. චූටි බේබි තාමත් නිදි. හැංගි හොරා වගේ හිනාවෙන අර ලස්සන හිනාවත් එක්ක ම නිදි. වෙනදාට වඩා වෙනසකට පෙනුණෙ පුංචි තොල් දෙක අයිනෙන් පෙණ ගුලියක් වගේ දෙයක් මතු වෙලා තිබුණ එක විතරයි.
චූටි බේබිගෙ හුස්ම ටික ගිහිල්ලයි කියල දැනගත්තට පස්සෙ මගේ මුළු සරුවාංගෙ ම ගින්නකින් දාල පිච්චිලා ගියා වගෙයි මට දැනුණෙ. ඒ බයට ම නෙවෙයි. ඒ වගේ ලස්සන රෝස මලක් උන්හිටිහැටියෙ පරවෙන්නෙ කොහොම ද කියන එක මට හිතාගන්න පුළුවං වුණේ ම නැති නිසා. ඒක දෙවියන්ගෙ කැමැත්ත නෙවෙයි කියන එක මං සහසුද්දෙන් ම දන්නවා. ඔව්. ඒක සාතන්ගෙ නපුරුකමක්.
ඒ වෙලාවේ ගෙදර හැමෝ ම එකතුවෙලා මට තඩිබාපු තරමට මං හිතුවෙ බේබිත් එක්ක ම මටත් දිව්‍යලෝකෙ යන්න පුළුවන් වෙයි කියලා. රත්වුණ ඉස්තිරික්කෙකිං මාව පිච්චුවෙ ලොකු මැඩම්. මගේ උරහිසේ පදාසයක් ම තවමත් තුවාලයක්. කොඳු නාරටිය බිඳිලා. මං නැඟිටින්නෙ දෙන්නෙක්ගෙ වාරුවෙන්.
මාව පොලිසියට බාර දුන්නට පස්සෙ පොලිසියෙ අයයි ඊට පස්සේ උසාවියේ උදවියයි මං දිහා බැලුවෙ යක්ෂණියක් දිහා බලනව වගේ. කිරි දරුවෙක් මරල ආපු යක්ෂණියක්. අනේ දෙයියනේ, මං මගේ ඇත්ත ම කතාව කාට ද කියන්නෙ? කවුද මට කන් දෙන්නෙ? මට හිතෙන හැටියට නං මගේ කතාව අහන්න මේ මුළු ලෝකෙ ම තියෙන්නෙ කන් හතරයි. දෙකක් දෙවියන් වහන්සේ ගේ. අනිත් දෙක චූටි බේබිගෙ.
මං මැරුණට පස්සෙ... නෑ මැරුවට පස්සෙ මට පුංචි බේබිව හම්බ වෙන්න පුළුවන් වේවි යි කියල ලොකු විශ්වාසයක් මට තියෙනවා. හරියට ම කිවුවොත් ඒක දෙයියන් වහන්සේ ගැන තියන විශ්වාසෙ වගේ. වෙච්ච සිද්ධිය සහසුද්දෙන් ම දන්නෙ දෙවියන් වහන්සෙ යි. මට වුණේ අත්වැරැද්දක්. ඒ අත්වැරැද්ද වෙනුවෙන් මං ඕනවටත් වැඩියෙන් වන්දි ගෙව්වා මේ ආත්මෙදි ම. ඉතිං දැං මට ගෙවන්න තවත් වන්දියක් ඉතුරු වෙලා නෑ.
දිව්‍යලෝකෙදි බේබි මුණගැහුණ දාට ඔය රෝසමල් මූණ අතොරක් නැතුව ඉඹගන්න මං හරිම ආසාවෙන් ඉන්නවා. කොහොමටත් බේබිගෙ ගෙදර තිබුණ සැපසම්පත්වලට වඩා වැඩි ඇති නෙ දිව්‍යලෝකෙ සැප සම්පත්? අනේ එතනට මට මගේ පුංචි මල්ලිවත් ගෙන්නගන්න ඇත්නං.
කවුදෝ එනවා. සපත්තුවල ටොක් ටොක් හඬක් ඇහෙනවා. ඒක නිසා මං නවතින්නං.
මං චූටි බේබිගෙ ආදරණීය
නැනී
https://archives.silumina.lk/punkalasa/20130127/_art.asp?fn=ar1301273
- නිශ්ශංක විජේමාන්න
කොයි හැටි උණත් මේ කතාවේ එන මිනිසා බල්ලන්ට, පොදුවේ ගත් කල සුනඛ වර්ගයාටම බය මනුස්සයෙක් විය. එසේම ඔවුන්ද පෙරළා එසේ බිය වෙනු ඇතැයි ඔහු ඇදහීය. මිනිසා කිසි දිනෙක බල්ලන්ට හෝ බැල්ලියන්ට දයා කරුණාව නොදැක්වූ අතර ගෙවත්තට එබිකං කරන ඔවුන් වෙනුවෙන් අතට අසුවන ඕනෑම දෙයකින් සුළු සංග්‍රහයක් කිරීමට අමතක නොකළේය.
ගමේ ගොඩේ හොඳම බල්ලා වුවත් ඔහුට ‘හම්පඩ බල්ලෙක්’ වීය. එනිසාත් ඔහු කිසිදාක ඇති නොකළ, ඔහුගේ බිරියවත් දරුවන්වත් නොදුටු අතීතයට හිමි බල්ලෙකු ගැන ගුණ වර්ණනාත් කළේය.
“එන්න ගේනවා නම් ඒ වගේ එකෙක්! සුද්දයි ගෙනාවේ රටින්... අම්මපා... කරේ පදක්කමකුත් ගහලයි හිටියේ.”
ඒ මොනවා කීවත් කැහැටු බැල්ලියක් තමා සපා කෑමෙන් අවමානයක් සිදු කරාවි යයි ඔහු කිසිදා සිතා තුබුණේ නැත. ඊටත් වඩා කුප්පායමක ඉන්නා රොඩී ගෑනියක් තමාට බනීවි යයි කොහෙත්ම විශ්වාසයක් තුබුණේ නැත.
දැන් විශ්‍රාම වයසේ ඉන්න ඔහුට ගම් ගොඩේ ඕනෑම බල්ලෙකු, බැල්ලියක දුටු විට මතක් වෙන ඒත් ඒ තරමට මතක් කරන්න හිත අකමැති කතාවක් ගෙතී ඇත.
එදා දහවලේ, මේ සිද්ධියට මුල පිරූ දහවලේ ඔහු බයිසිකලය පැද යනවිට බැල්ලිය ගෙරෙව්වා පමණි. බයිසිකලය නවතා මිනිසා ඈ දෙස රවා බැලුවේය. වතුර කළයක් හිස තබා ගත් රොඩී ගැහැනියක් කිසිම කතාවක් නැතිව නැවතූ බයිසිකලයට ඉදිරියෙන් පාර හරහා ගියාය.
බැල්ලිය ගෙරෙව්වේ ඇයිද...? ඔහුට දැන් මතක නැත. සමහර විට පාරේ මැද සිටියද...? අහුවෙන්න ගියාද....? මතක නැත. ඒත් බල්ලන්ට පාර මැද ඉන්න ලයිසන් දී නැති බව ඔහු දැන සිටියේය.
ඇත්තටම ඔහුට ඒවේලේ බියක් ඉපදුණේ නැත. කෙට්ටු බැල්ලිය විලිස්සූ දතින් යුතුව නිල් පැහැ පුළිඟු නෙතින් බලන කල වුව ඉඟිතියක් ඇති නොවීය.
“නොදකින් රොඩියගෙ බැල්ලියගෙ සැර.”
ඔහු සෙමින් ගොරවමින් ගැහැනිය දෙසට නෙත් යොමමින් යන්ට ගියේය.
තමා මේ පටු මාවතේ නොගොස් නගරයට දිවෙන ප්‍රධාන මාර්ගයේම ගියා නම් මේ විපත සිදු නොවන බව ඊටත් පසු කාලයේ ඔහු කල්පනා කළේය.
“මොනවටද ඔය රොඩී ගං මැදින් පාර හදා ගත්තේ?”
බිරියත් ඔහුට පසුව දොස් කීය. ඒ මොනවා කීවත් දැන් එය නගරයට යන කෙටිම පාර වෙයි. මගියෝ බොහෝ දෙනා ඒ පාරෙන් නගරයට පිවිසෙති. විරුද්ධ වන්නේ කවුද? පාර හරහා පනින ගැහැනියකගේ නොරිස්සුම හෝ පඩත්තර බැල්ලියකගේ ගෙරවිල්ලක් හැර රොඩී ජනයා කටක් ඉස්සුවේ නැත.
දෙවැනි දවසේද බැල්ලිය ඔහුගේ බයිසිකලය පසු පස එළවාගෙන ගියාය. ටික දුරක් බයිසිකලය වේගයෙන් පැදවූ මිනිසා වහා තිරිංග තද කර නැවැත්වීය. වහා හැරුන බැල්ලිය පලා ගියාය.
“ඒක හරි!” ඔහු එවිට උදාරම් ලෙස සිතීය.
ඒත් හවස ආපසු වැඩ ඇරී එන මිනිසා මේ බැල්ල විසින් කේන්ති ගැස්සීය. ඈ බුර බුරා පසු බැස්සාය. ඔහු නැවතී ගෙදර දෙස හෝදිසියෙන් බැලීය.
“ඒයි මිනිහෝ.” හේ කාටද කතා කළේය. ඔහුගේ ප්‍රතාපවත් හඬ කාටවත් නෑසුණා විය යුතුය. එවර සීනුව නාද කළේය.
එළියට ආවේ දරුවෙකි.
“කාගෙද බොල මේ බැල්ලී?” උත්තරයක් බලාපොරොත්තු නොවූ මිනිසා නැවත කෑගැසුවේය. එවිට ගැහැනියක් එබිකං කර බැලුවාය.
“පරිස්සං කරගනින් මේ බැල්ලී... තොපේ වාහෙට කියාපං තොපේ බල්ලෝ හදාගන්ඩ කියලා.”
බිය වූ දරුවා මවට තුරුලු වූවාය. “දරුවාට බැනලා හරිද?” කාන්තාව දරුවා ගෙතුළට ගනිමින් පිටුපා යන මිනිසා දෙස බැලුවාය. කර කියාගත හැකි කිසිත් නැති ඇගේ වත රත්පැහැ විය. මිදුල් මැදින් නොගියනං ඉවරයිනේ... පැටව් දාපු බැල්ලියෝ කවදත් සැරයි.”
“බැල්ලි පැටව් දාලා ඉන්න බව දැනගත්තා නම් ප්‍රවේශම් වෙන්ඩ තිබ්බා.” බොහෝ කලකට පසුව තුවාලය සනීප වූවාටත් ඔහු කැළැල් අතගාමින් බිරියට කීවේය.
“ඒත් ඔයා දැනගෙන හිටියා ඒකි පැටව් දාලා පැටවුන්ට ආදරේ බැල්ලියක් බව.”
“ඇත්තටම... මට මතක නෑ.”
ඒ දිනවල සවසක ඔහු බිරියට මේ සිද්ධිය කීවා ඔහුට මතකය.
“රොඩියෙකුගේ බැල්ලියක් බුරා පැන්නා.”
බිරිය බියපත් වූ සේ ඔහු දෙස බැලුවාය.
“උන් එහෙමද බල්ලො හදලා තියෙන්නේ.”
“ඒකනේ. දැන් දවස් දෙකක්ම.”
එවර මිනිසාට මානයක් ඉපදිණ. බැල්ලිය තමාට අගෞරව කළේ යැයි බඳු හැඟීමක් ඔහුට ඇති විය. එයින් ඔහු කෝප විය. ඉක්බිති හෙතෙම කුඩය අතට ගත්තේය. එය පරණ කුඩයකි. අණ්ඩයක් ඇල්ලූ රෙද්ද දුර්වර්ණය. හොඳින් ඔතා තුබුණු එය කාර්යාලේ මලු බඳින නූලකින් ගැටගසා තිබිණ. කුඩයේ මිට දෙස බල්නෙකුට එහි රැජිනකගේ මූණ කැටයම් කර තිබෙනු දක්නට ලැබේ. වඩා වුවමනාවෙන් බලන්නෙකුට ඔහු එහි වංශ කතාව කියන්ඩ සැරසේ.
“මේක රට කුඩයක්, ඒ දවස්වල අපේ පප්පා සුද්දා ගාව වැඩ කරනකොට...” කොහොම උණත් මේ කැසටු දිරාපත් වූ කුඩය දකින ශ්‍රාවකයා ඉන් එහාට ඒ කතාව නාසයි. එදා මේ කුඩය ඔහුට දැනුණේ යෂ්ටියක් මුගුරක් සේය. ඔහු කුඩය දැඩිව මිටින් අල්ලා නැවත තබනු ඔහුට මතක තිබිණ.
පසුදා අතරමගදී ඔහුට ගෙහිමියා මුණ ගැසිණ. රෙදි කඩක් ඇඳ සිටි ඔහු ගරු සරු ඇතිව අපේ මිනිසාට මොනවාදෝ කීය. තමා ආණ්ඩුවේ කන්තෝරුවක රස්සාවක් කරන බව ඔහු දැන සිටින්නට ඇතැයි බයිසිකල්කරු සිතීය. ඇත්තම කීවොත් ඔහු පියුං කෙනෙක් බව රොඩී මිනිසා දැන සිටියේය.
“නෑ මහත්තයා ඒකි පැටව් වදලා.”
“ඒක හරි. මං හිතුවේ උඹලා බල්ලන්ට උගන්නලා කියලා.”
“අපෝ නෑ දෙයියා.”
එවර ලිපිකරුවා ආඩම්බර වූයේ කුඩා හිස කෙළින් කර තොප්පිය සරිකර ගත්තේය.
අවාසනාව එබී බැලුවේය. සවස ආපසු එනවිට ද බැල්ලිය ගෙරෙව්වාය.
කේන්තිය පැමිණ ඔහු බයිසිකලය නවතා බැල්ලියට කුඩය ඔසවා තර්ජනය කළේය. බැල්ලිය බුරාගෙන පැන්නාය.
එවර ඔහු කුඩය අවිය කොටගත්තේ එය බැල්ලියට උලුක් කළේය. වඩා රෞද්‍ර වූ ඈ ඔහු දෙසට පැන්නාය. බයිසිකලය අතහැර මිනිසා බැල්ලියට පහර දුන්නේය. බැල්ලිය ඇගේ දතින් කුඩයේ රෙද්ද සපා කෑවාය. මිනිසාගේ කෝපය භීතියකට පත් විය. ඉක්බිති මිනිසා දුවන්නට තැත් කළේය.
පෙරළුණ බයිසිකලයේ රෝදයක් කරකැවිණ. පය පටලාගත් මිනිසා බයිසිකලය මත වැටිණ. බැල්ල ඔහුගේ කකුල සැපුවාය. නැවත සැපුවාය.
“අම්මා... අර එදා බැන්න මිනිහා හපන්න යනවා... අපේ බැල්ලි...” කුඩා දරුවා මවට කෑගෑවාය. කලබලව දුව පැමිණි ඈ නොසිටින්න බැල්ලිය ඔහුව තවත් සපාකන්ඩ ඉඩ තිබිණ. විලම්බීත වූ බැල්ලිය ස්වාමි දුවගෙන් පහර කා ඈ දෙස විමතියෙන් බලා පලා ගියාය.
“හපලා මදි... තමන්ගේ පාඩුවේ ගියා නම් ඉවරයිනේ... ළමයින්ට බනින්ඩයි... කුඩ උළුක් කරන්ඩයි...” කිරි දරුවෙකු කිහිල්ලේ ගසා ගත් ගැහැනිය ගෙරෙව්වාය. දෙවන වරට බැල්ලිය සිය හදවත සපා කෑවා සේ එවිට මිනිසාට හිතුණි.
“රොඩී ගුබ්බෑයම්වල පරට්ටියන්ගෙනුත් බැනුම් අහන්ඩ උණා. බල්ලෝ කෑවා මදිවට.”
මඩ ගෑවුණ හිස්වැස්ම වැතිර නිසොල්මන් වී තිබිණ. වංශ ප්‍රවෘත්තියක් සැමරූ කෘශ කුඩය ඉරී බිම දිගා වී මඳ සුළඟින් සට සට ගෑවේය.
*********
“දොස්තර මහත්තයෝ ඌ රොඩියගේ බැල්ලී. ඌට පුළුන්ද වැදගත් මනුස්සයෙක් හපන්ඩ?” මිනිසා කෑ ගෑය. “ඒකත් හරි. ඒක සනිප කරන්ඩ පුළුවන්. අර රොඩී ගෑනිත් මාව හපා කෑවා. මේ අවමානේ සනීප කරන්නේ කොහොමද?”
තුෂ්නිම්භූත වූ දොස්තර බලා සිටියේය.
“මේ උන්නැහේ, බැල්ලිට තේරෙනවද ඒකි සිංහලද දෙමළද, රොඩීද කියලා?” හේ තුවාලය පිරික්සීය.
“ඌට තේරෙන්න ඕනෑ.” මිනිසා මඳ වේලාවකට පසු පසුබාමින් කීය.
“පිස්සු හැදෙන්න පුළුවන්!” දොස්තර ඔහුට එන්නත් කළේය.
“දවස් ගාණක් ඉස්පිරිතාලේ ඉන්ඩ වෙයි!!”
රාත්‍රියේ ඔහුට උණ වැලඳී තිබිණ. හේ උණ විකාරයෙන් දෙඩෙව්වේය.
“ඌ රොඩියගෙ බැල්ලී, ඌ ඉන්ඩ ඕන යටහත් පහත්ව.” හේ කෑගසන්නට විය. එවර අලුත් බෙහෙතක් දීමට කංකානම ඉදිරිපත් විය.
“මේ උන්නැහේ... කෑ නොගහ ඉන්නවා.” රෝහලේ කංකානම කීවේය. “සමහර වෙලාවට ඒ බැල්ලී ඒ ජාතියෙ නෙවෙයිද කවුද දන්නෙ?”
එවර උණ විකාර වුවත් නෙත් මහත්ව විස්මය පිටකර නළල රැළිකර ගත්තේය. බෙහෙත හරියන පාටක් කංකානමට පෙනිණි.
“දොස්තර මහත්තයා හොයල බලල තියෙනවා.” කංකානම සෙමින් රහසක් කියන්නා සේ කතා කළේය.
“ඒ ගෑනු උන්දෑ රොඩී නෙමෙයි! ගොයිගම.”
සවන් දුන් ලෙඩා නිශ්ශබ්ද විය. ඉන් පසු නිදා ගත්තේය.
පසුදා ලෙඩා මඳ උණ සහිත තෝන්තුවාවෙන් කතා කළේය.
“ගෑනි ගොයිගම නං ඒ බැල්ලිත් එනකොට ගේන්ඩ ඇති!”
“ඇත්තට ඌ හොඳ ජාතියෙ එකෙක් වෙන්ඩ ඕනා.” රෝගියා කංකානමට කීවේය.
“සුදු බැල්ලි. මයිල් හේම ගොඩයි!! හොඳ ජාතියෙ තමයි!! මුං ගෙනල්ලා හැදුවට.” කියන විට ඔහුට තාම උණ දැයි කංකානම කල්පනා කළේය. හිස සෙලෙව්වේය. කපටි ලෙස සිනාසුණේය.
ඉක්බිති වෙළුම පටිය අතගෑ රෝගියා මෙසේ කීය.
“ඒ උනාට ඒකිට වටින්නේ නෑ හපන්ඩ. මං අහිංසක මිනිහා. දුප්පතා. මෙහෙම හිටියට කී දවසක් පාඩුද...! කුඩෙත් ඉරා දැම්මා.... තොප්පියේ මඩ ගෑවා.” ඔහුගේ කට හඬ දුර්වල විය.
“ඒකි හොඳ ජාතියේ වෙලත් තේරුණේ නෑ... මං මං... දුප්පත් මිනිහා... මං දුප්පතා...” හේ සුසුම් ලෑවේය.
https://archives.silumina.lk/2014/03/02/_art.asp?fn=cr1403024
ගී ද මෝපසාංගේ Useless Beauty කෙටිකතාව ඇසුරිනි.
- පියසීලි විජේනායක
ඒ ජූලි මාසයේ අග භාගයයි. සන්ධ්‍යා කාලය එළඹී තිබුණ ද තවමත් උණුසුම් හිරු එළිය අංගනය පුරාම දිලිසෙමින් තිබිණ. මේ මොහොතේ මැදුර කරා ගමන් කළ සිටුවරයාට කාල වර්ණ අසුන් යෙදූ අලංකාර අශ්ව රථය මන්දිරය අබියස නතර කර තිබෙන අයුරු දක්නට ලැබිණ. තම බිරිය පිටත යාමට සූදානම් වී ඇති බව හේ දුටුවේය. රථය මොහොතකට නතර කරගත් සිටුවරයා සිටුදේවියගේ ශෝභන වක්ත්‍රය දෙසට නෙත් යොමු කළේය. ඇගේ දුඹුරු පැහැති විශාල නෙත් සඟල හා නිල්වන් කෙස් කළඹ නිසා ඇගේ රූ සිරිය තව තවත් ඔප්නැංවී ඇති අයුරු හෙතෙම දුටුවේය.
ඕ ඔහු දෙස නොබලා ම රථයට නැංගාය. ඔහු ඇය වෙතට ළං වූයේය.
”ඔබ සවාරියක් යන්න වගෙයි”
”ඒ විත්තිය ඔබට පේනව ඇතිනේ”
”මාත් එන්නද?”
”මගේ අවසර මොකටද? රථය අයිති ඔබට”
ඇගේ අවසරයෙන් රථයට ගොඩවැදුණ සිටුවරයා රියැදුරුට ගමන සඳහා සන් කළේය. අඹු සැමියෝ මුවෙන් නොබැණ ගමන් කළහ. අත් වැස්මෙන් ආවරණය වූ තම බිරියගේ සුකොමල අතක් අල්වාගත් සිටුවරයා ඇය වෙතට නැඹුරු වුයේය. ඕ වහාම ස්වකීය හස්තය ඉවතට ඇදගත්තාය.
”ගාබ්රිලී!”
සිටුවරයා තම බිරිය ඇමතුවේය.
”ඔබට මොනවද ඕනෑ? ඇත්තෙන්ම ඔබ ගරු කටයුතු තැනැත්තියක්”
ඈ පීඩාවට පත්වූ රැජිනක මුවින් නොබැණ ඉවත බලා සිටියාය.
”මගේ ආදරණීය සිටුදේවිය,.."
”පින් අයිතිවෙයි. මට සැනසීමෙන් ඉන්න ඉඩ දෙන්න”
ඇගේ වදන් ඔහුට නෑසුනාසේ ය.
"මේ තරම් ලස්සනට මං ඔබව කවදාවත් දැකල නෑ” ඇගේ කෝපය උත්සන්න වෙමින් තිබිණ.
”ඔබට වැරදිලා. ඉස්සර වාගෙ මං ඔබ සමඟ එක්වෙන්නෙ නෑ”
”මොකක්ද ඒකෙ තේරුම?”
”ඒකෙ තේරුම? මං ඔබව හඳුනා ගත්ත. හැමදේම මං ලව්ව කියවගන්නද ඔබ හදන්නෙ?”
”ඔව්!”
"හැමදෙයක් මං හිතේ තදකරගෙන හිටියෙ”
ඇගේ වදන් ඔහුගේ විස්මයට හේතු විය. කෝපයෙන් රත්පැහැ ගැන්වූ සිය නෙත් සඟල හේ ඇය වෙතට යොමු කළේය.
”හොඳයි, කියන්න. හැමදේම කියන්න” මනා සේ පළල් වූ උරහිසෙන් යුත් මේ සිටුවරයා හොඳ පියෙක් වූයේ ය. කාටත් ඒ බව හැඟී ඇති බව ඕ දත්තීය.
"ඔබ නොකන්කලු දේවල් මවන්න පුළුවන්. ඒත් මං බය නෑ ඒව කියන්න” ඔහු ඇගේ දෑසට එබී බැලුවේය.
”ඒ” ඔබ උමතුවෙන්”
"නෑ! අවුරුදු ගණනක් ම මං ජීවත් උණේ ඔබේ රැවටිලි කාර ලෝකෙ. මාත් ආසයි ලෝකෙ අනිත් ගෑනු වාගෙ ජීවත් වෙන්න”
ඔහුගේ සුදුමැලි මුහුණ ඇය වෙතට යොමුවිය.
”මට ඔබ කියන දේවල් තේරෙන්නෙ නෑ”
”එහෙනම් තේරුම් ගන්න. මගේ පුංචි දරුවට මාස තුනයි. මගේ සිරුරෙ පැහැපත් බව තාම මැකිල නෑ.. නුඹට ඕනැ උණේ ඒ තත්වෙ නැති කරල දමන්නයි. කොටින්ම කිව්වම මං දැන් පඩි පෙළ බැහැල රථයට නගිනව දැක්කම ඔබට හිතුණ දැන් හොඳයි ආයෙත් මට දරුවකු ලැබෙනව නම් කියල”
”ඒව කමකට නැති කතා”
”නෑ! නෑ! මට දැන් අවුරුදු තිහයි” ඔබ ඊරිෂියයි මා එක්ක. මගෙ රූපෙ රැක ගන්නවට.”
සිටුවරයා ඇයගේ දෑත තදින් ම අල්වා ගත්තේය.
”ඔය විදියට කතාකරන්න මං ඉඩ දෙන්නෙ නෑ”
”ඒව කොහෙද? ඔබේ පහත් වැඩ පිළිවෙළ මං දැන් දන්නව“
”මට දරුවෙකු ලැබෙන්න ඉන්න කාලය පුරාවට මට ඔබව ඇහැට දකින්න බැරිඋණා. එතකොට ඔබ මාව පිටිසරට යවනව. මං දරුගැබෙන් නිදහස් උණාම මාව ආයෙත් රවට්ටනව. ඔබ දරුවන්ට බූරුවන්ගෙ පිට යන්ඩ ඉගැන්නුවා. මිනිස්සු කියන්නෙ ඔබ ආදර්ශවත් තාත්ත කෙනෙක් කියල”
සිටුවරයා ඇගේ අතේ මැණික් කටුව තදින් ම අල්වා ගත්තේය. ඕ වේදනාව උසුලාගෙන නිහඬ වූවාය.
”මම මගේ දරුවන්ට ආදරෙයි. මම නුඹේ ස්වාමියා. මට ඕනෑ දෙයක් කළ හැකියි. නීතිය අයිති මගේ පැත්තෙ. බලවන්තය මම”
”ඔබ පිළිගන්නවද මං ආගම ධර්මය අදහන ගැහැනියක් කියල”
”ඔව්!
”මං අල්තාරය ඉදිරියෙ දණගහල කියන්න යන දේ ඔබ පිළිගන්නවද?
”මොකක් ගැනද?
”ඔබට පෙනේවි”
ඕ උස් හඩින් රියදුරා ඇමතුවාය.
”ජෝන්, යන්න සාන්ත පිලිප් දේවස්ථානයට”
රියදුරු හිස නවා ආචාර කරමින් සිය ස්වාමි දුව වෙතට සවන් යොමු කළේය.
”හොඳමයි සිටු දේවිය”
ඔවුහු යළිත් ගමනේ යෙදුණාහ. රථය දෙව්මැදුර අබියස නතර කරනවාත් සමඟ ඕ රථයෙන් වහා බිමට බැස ලහි ලහියේ දේවස්ථානය වෙතට පිය නැඟුවාය. හඬ නොනඟා ඇය වැළපෙන අයුරු ඔහුට අසන්නට ලැබිණ. හෙතෙම තමාගේ අත ඇගේ උරහිස මත තැබුවේය. ඕ එක එල්ලේ ම ඔහුගේ මුහුණ දෙසට නෙත් යොමු කළාය.
”ඔබ මට මොනව කළත් මං ඒ කිසිම දේකට බය නෑ. මේකයි කාරණේ. අපේ දරුවන්ගෙන් එක්කෙනෙක් ඔබේ නෙවෙයි.”
"ඒත්... කවුද මගේ ආදරවන්තය ඒක නං ඔබට දැනගන්න ලැබෙන්නෙ නෑ. ඔබට පුළුවන් ඕනෑම කෙනෙක්ව සැක කරන්න”
එසේ පවසා සිටු දේවිය දෙව් මැදුරේ විවෘතව තිබූ දොරටුව තුළින් ආපසු හැරී ගමන් කළාය. තම ස්වාමි පුරුෂයා මේ මොහොතේ කෙබඳු ආකල්පයක් දරන්නේ දැයි දැන ගැනීමට ඕ මොහොතකුදු පමා නුවූවාය. ඇය කෙළින්ම ගමන් කළේ අශ්ව රථය දෙසටය.
”... ජෝන් කෙළින්ම සිටුමාලිගාවට යමු”
ඕ රියදුරාට අණදුන්නාය.
* * * *
තම ස්වාමියාගේ කල්පනාකාරී ලෝකයේ කුමක් සිදුවෙමින් පවතින්නේ ද? ගත වූ සන්ධ්‍යා භාගයේ ඔහු නිවසට පැමිණියේ ද? එම කල්පනාවෙන් යුතුව ම ඕ නිහැඬියාවෙන් යුතුවම හෝරා යන්ත්‍රය දෙසට නෙත් යොමු කළාය.
වේලාව අටේ කනිසම නාදවත් ම කිසිවකු විසින් දොරට තට්ටු කරන හඬ ඇයට ඇසිණ. රාත්‍රී කෑම සඳහා මෙහෙකරුගේ ඇනවුමට ඕ සවන් දුන්නාය.
”සිටුතුමා ආවද?”
”ඔව්! සිටුදේවිය, එතුමා කෑමට වාඩිවෙලා”
සිටුදේවිය භීතියෙන් යුතුව කල්පනාවට වැටුණාය. සති කිහිපයකට පෙර තමා විසින් මිලදී ගන්නා ලද රිවෝල්වරය ඇයගේ සිහියට නැඟුණි. එහෙත් ... දරුවන් ඉදිරියේ බියකරු සිදුවීම් කිසිවක් සිදුනොවිය යුතුය.
ඕ කෑම මේසය වෙත පියනඟන්නට වූවාය. සිටුවරයා අසුනෙන් මඳක් නැඟිට බිරියට ආචාරශීලී වූයේය.
දරුවෝ කෑමට වාඩිවී සිටියහ. ඔවුන්ගේ ගුරුවරයා වූ මාටිනස් මහතා ද ස්මිත් මෙනෙවිය ද ඒ සමඟ වූහ. අලුත උපන් තුන් මස් වියැති බාලම දැරිය ඇගේ සාත්තු සේවිකාව සමඟ උඩුමහලේ නැවතී සිටියාය.
හැමෝම නන්නාඳුනන අය මෙන් නිසොල්මනේ ආහාර ගත්හ. හදිසියේම සිටුවරයා අතින් පෙරළුණු වයින් බඳුනේ වූ වයින් මේස රෙද්ද පුරාම ඉහිරී ගියේය. දෙමහල්ලෝ ඔවුනොවුන්ගේ මුහුණ බලා නිහඬ වූහ.
අඹුසැමියන් අතර යම්කිසි අසමඟියක් ඇති බව කාටත් වැටහිණි. ඔවුහු කතා බහට උචිත මාතෘකා මතකයට නංවා ගන්නට වෙහෙස දැරූහ. මේ විශාල කෑම කාමරයේ පුරාම ඇසෙන්නට වූයේ හැඳි ගෑරුප්පුවල හා පිඟන්වල හඬ පමණි.
හදිසියේ ම සැමියා බිරිය වෙතට නැඹුරු වූයේය.
”දිවුරලා කියන්න පුළුවන් ද මේ දරුවන් පල්ල එදා දිවුරා කියූ දේ ඇත්තද කියල”
”මේ දරුවන් පල්ල මං කියූ දේ ඇත්ත” ඔහු අත පිස්නාව මේසය මතට වීසිකර නැඟී සිටියේය. කතා නැතිවම පුටුව ද පෙරළාගෙන කෑම මේසයෙන් ඉවත් වී ගියේය.
”දරුවනේ, තාත්තගෙ වැඩ ගැන හිත කලබල කරගන්න එපා!”
හිතවතුන් ඉදිරියේ සුහදව කතා බහ කළ යුතු යැයි ඕ සිතුවාය.
රාත්‍රිය ගෙවී ගියේය. අරුණු රැස් දහර ජනෙල් පියන් පත් තුළින් කාමරයට එළඹෙන මොහොත වනතුරු ම තම සැමියා ගැන කිසිදු හෝඩුවාවක් ඇයට දැනගන්නට ලැබුණේ නැත. සේවිකාව තේ බන්දේසිය රැගෙන ඇය ඉදිරියේ බලා සිටියාය. සිටුවරයා දිගු ගමනක යෙදුණ බවත්, ඒ කාලය තුළ ඇයට අවශ්‍ය මුදල් නීතිඥවරයාගෙන් ලබා ගත හැකි බවත් එහි සඳහන් වී තිබුණි.
කලකට පසු සිටුවරයා නිවසට පැමිණි එදින රැඟුම් හලෙහි රඟ දැක්වූ ඔපෙරා නාට්‍යය නැරඹීමට බොහෝ සෙනඟ රැස්වී සිටියහ.
කාන්තාවන් අතරින් වඩාත්ම කැපී පෙනුණේ මස්කර්ට් සිටුදේවියයි. ඕ දියමන්ති හා මුතුවලින් කරන ලද අගනා අබරණ පැලඳ සිටියාය. ඇගේ හිසෙහි වූ දියමන්ති පලඳනාව තරු පොකුරක් සේ දිලෙමින් තිබුණි. මිතුරෝ දෙදෙනෙක් රඟහලේ දී ඇය පිළිබඳ කතා බහේ යෙදුණෝය.
”අර බලන්න මස්කර්ට් සිටුදේවිය දිහා. ඇය තාමත් තරුණයි නේද? දරුවන් හත්දෙනෙක් ඉන්න අම්ම කෙනෙක් කියල කියන්නවත් බැහැ”
”ඔබ සිටු මැදුරට ගිහින් තියනවද?”
”අපොයි ඔව්! හරිම නිස්කලංක සිත් ඇදගන්න තැන!”
”නැද්ද ඇය ගැන කටකතා?”
”අපොයි නැහැ”
”ඇයගෙ ලස්සන මැකිල නෑ”
මිතුරෝ කතාබහේ යෙදෙමින් ම ඇයගේ රූසිරිය නැරඹූහ.
ඔපෙරා නාට්‍යය අවසානයේ මස්කර්ට් සිටුතුමා හා සිටුදේවිය සිටුමැදුරට පැමිණියෝ ය.
හදිසියේම ඔහු තම බිරිය ඇමතුවේය.
”මේ අහන්න”
”හ්ම්. ඔබට මොනවද ඕනෑ?”
”හිතෙන්නෙ නැද්ද මේ තරම් කාලයක් මං මේ වදය වින්ද ඇති කියල”
”මොනව ගැන ද ඔබ කිව්වෙ?”
”මේ අවුරුදු හය තිස්සෙ මට දුන්න දඬුවම... කියන්න ඒ කොයි දරුවද කියල? මං මේ දරුවන් වට කරගෙන ආදරෙන් සුරතල් කරන්නෙ කොහොමද කියල. මම ඔබට සමාව දෙනව“
”ඔබ එහෙනම් ලොකු වේදනාවක් විඳල තියනව“
”ඔබ මාව ඊර්ෂ්‍යාකාරයකු කළා.”
”එහෙනම් අහගන්න. මට ඕනෑකම තිබුණෙ ඔබව මගෙන් ඈත් කරන්නයි. එදා මං කිව්වෙ බොරු”
ඔවුහු අඳුරේම ගමන් කළෝය. සිටුවරයා තම බිරියගේ අත තදින් ග්‍රහණය කළේය.
”ඔය ඇත්තද?”
”ඒත් මං කොහොමද ඔබව විශ්වාස කරන්නෙ? ඒ දරුව ජාකොබ් ද? නැත්නම් ජෙනී ද?”
රථය මන්දිරය අබියස නැවැත්වූයේය. සිටුවරයා වහා රියෙන් බැස තම බිරියට රියෙන් බැසීමට අත දුන්නේය. හිනි පාමුල නැවතුන ඔහු,
”මං කැමතියි ඒ ගැන තව ටිකක් කතා කරන්න..."
ඔවුහු විසිත්ත කාමරයට ඇතුළු වූහ. සේවකයෝ මවිතයෙන් යුතුව ඔවුන් දෙස බලා සිටියහ දැල්වූ ඉටිපන්දම් එළියෙන් කුඩා ශාලාව ප්‍රභාමත් විය.
”මං දස දහස් වාරයක් ඉල්ලා සිටිනව මට ඇත්ත කියන්න කියල”
සිටු දේවිය මෘදු වදනින් ඔහුට පිළිතුරු දෙන්නට සූදානම් වූවාය.
”මං ඔබට ද්‍රෝහි වෙලා නෑ. එහෙම උනා නම් මේ අවුරුදු හයක කාලයක් තුළ මං තවත් දරුවන්ගෙ අම්ම කෙනෙක්”
”ඇත්තටම අම්ම කෙනෙකුට මේ වාගෙ කතා කියන්න පුළුවන්ද?”
”මට මේ ළමයි ඇති. මම මේ ළමයින්ට ආදරෙයි. මම කවදාවත් නූපන් දරුවෙකුට අම්ම කෙනෙක් වෙලා නෑ.”
ඕ හුනස්නෙන් නැඟී සිටියාය. සැමියා බිරියගේ අත තදින් අල්වාගෙන මෙසේ පිළිවිසියේය.
”මට ඇත්ත කියන්න”
”මං කවදාවත් ඔබට ද්‍රෝහි වෙලා නෑ”
සිටුවරයා ඇගේ දුඹුරු පැහැ නෙත් සඟළ වෙතට තියුණු බැල්මක් හෙලුවේය. ... ඇගේ නිල්වන් කෙස් කළඹ.. හරියටම සීතල රැයක අහස මෙන් වූ සුන්දරත්වයට ඔහු වඩ වඩා ආසක්ත වූවා සේ ය.
”මට ඔබ විශ්වාසයි.
"මේ මොහොතේ ඔබ දිහා බලන කොට ඔබ බොරුවක් නොකිවු බව මට විශ්වාසයි”
ඕ තම සැමියා වෙතට සිය හස්තය දිගු කළාය.
”අපි යාළුයි. අපි ඉස්සර වගේම සෙනෙහසින් ඉන්න හිතවත්තු”
ඇගේ ශෝභන වක්ත්‍රය වෙතට යොමු කළ මුදු බැල්මෙන් යුතුවම සිටුවරයා හුන් තැනින් නැඟී සිටියේය.
https://archives.silumina.lk/punkalasa/20130106/_art.asp?fn=ar1301063
කැනේඩියානු ලේඛක Dan Ross ගේ කෙටිකතාවක් වන Always a Motive නම් කෙටිකතාවේ පරිවර්තනයකි.
පරිවර්තනය - සමන් කළුආරච්චි
නිල් පැහැගත් මළානික ආලෝකය විහිදුවන වීථි පහන් කණුව යට ඔහු සුළු වේලාවක් රැඳී සිටියේය. සුව නින්දෙහි පසුවන දරුවා ඉතාම පරිස්‌සමින් සිය බාහුවේ හොවා ගත් ඔහු දරුවාගේ අවිහිංසක මුහුණත් මෘදු කෙස් රොදත් දෙස යළිත් වරක් නෙත් යොමු කළේ උතුරා ගිය සොවින් යුක්‌තවය.
හුදෙකලා වූ පාළු මාවතේ ඔහු මොහොතක් රැඳී සිටියේ කළ යුත්තේ කුමක් දැයි හරිහැටි වටහා ගත නොහැකි වූ අයුරිණි. ඔහු තරුණය. ඇඳුම් වැරහැලි වී ගොසිනි. එය වසන්තයේ උණුසුම් රැයක් වූ අතර ඔහු හිස් වැස්‌මක් පැළඳ සිටියේ නැත. තද කළු පැහැති කැරලි කෙස් රොදින් සහ සුදුමැලි වී ගිය මුහුණින් යුක්‌ත වූ ඔහුගේ ස්‌වභාවයෙහි දැකිය හැකි වූයේ කිසියම් අස්‌වාභාවික බවකි.
හදිසියේම සිය හිත හදාගත් ඔහු හුදෙකලා වීදිය ඔස්‌සේ අවිද ගියේ ගඩොලින් බැඳුණු තට්‌ටු නිවාස ගොඩනැඟිල්ලක් වෙතය. විවරව තිබුණු දොරෙන් ගොඩනැඟිල්ල ඇතුළට පැනගත් ඔහුගේ දෙනෙත් ලියුම් පෙට්‌ටිවල සටහන් කර තිබූ නිවැසියන්ගේ නාම පුවරු අතර සැරිසරන්නට වූයේ අසුරුසැනිනි. මිලර්ස් වාසය කරන්නේ දෙවැනි මහලේ බව දුටු ඔහු ඒ සැනින් ම දෙවැනි මහළ වෙත ගමන් කරන්නට වූයේය.
මිලර්ස්‌ගේ නිවසේ විදුලි සීනුව නාද කිරීමෙන් පසු මොහොතක් ගෙවී ගියේය. කොරිඩෝවේ අඩ අඳුරු ආලෝකය අතරේ ඔහු එහි රැඳී සිටියේ ළයෙහි හොවා ගත් දරුවා ද අතැතිවය. විවර වූ දොර පියන්පත් අතරින් එළියට ආ බැනියමකින් සහ කලිසමකින් සැරසී සිටි තඹ පැහැගත් කෙස් රොදින් යුත් තරුණ මිනිසා ප්‍රශ්නකාරීව මේ අමුත්තා දෙස බැලුවේ නිදිබර දැසිනි.
"මෙන්න ඔයාගේ පුතා..." සෙමෙන් පැවසුවේය. එයාට කරදරයක් නැහැ... එයා හොඳින්...." භීතියට පත්ව සිටි තරුණ පියාගේ මුහුණ පුරා ඔහුගේ දෙනෙත් දිව යමින් තිබිණ.
ඉකි බිඳුමක් වැනි හඬක් නංවමින් දරුවා සිය දැතට ගත් මිලර්ස් තමන් සතු වූ ඒ මහාර්ඝ වස්‌තුව ද රැගෙන තම මහල් නිවාසය තුළට දිව ගියේ ක්‌ෂණික බියපත් බැල්මක් අමුත්තා වෙත හෙළමිනි.
ඒ මොහොතේම තරුණ අමුත්තා ද සෝපාන පෙළ ඔස්‌සේ වහ වහා පහළට ඇදුණේ කැළඹීමට පත් වූ හැඟීම් සමුදායක් ද සමගිනි.
සියල්ල එකවර සිද්ධ වූයේ ඔහු මහල් නිවාස ගොඩනැඟිල්ලෙන් පිට වී වීදිය දිගේ ඇවිද මොහොතේය. අඳුරු සෙවණැලි තුළින් ඡායාවන් මතුව එන අතරේ දැස් නිලංකාර කරවමින් දීප්තිමත් ආලෝක ධාරාවන් එල්ල වන්නට වූයේ ඔහුගේ දැත් දැඩි ග්‍රහණයකට ලක්‌වද්දීමය.
"බේරෙන්න හදන්න එපා...." දැඩි හඬක් ඔහුට අනතුරු හැඟෙව්වේ. මේ පොලිසියෙන්"
පොලිස් මූලස්‌ථානයට යැමට ගත වූයේ විනාඩි කිහිපයක් පමණි. පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ බාහු යුග්මයන්ගේ ග්‍රහණයෙන් යුක්‌තව පටු ප්‍රවේශ මාර්ගය ඔස්‌සේ ඇවිද යමින් ආලෝකවත් වූ විශාල ගොඩනැඟිල්ලට ඔවුන් ඇතුලු වෙද්දී පුවත්පත් වාර්තාකරුවෝ රැසක් පොලිස් රථ පිරිවරා ගනිමින් සිටියහ.
අවසානයේදී ඔහුට නතර වන්නට සිදු වූයේ මිනිසුන් තිදෙනකු පිරිවරාගෙන විශාල කාර්යාල කාමරයක් තුළය. මුලදී ම ඔහුට අනතුරු හැඟවීමක් සිදුකළ තැනැත්තා එම දැඩි හඬින් ම යළිත් ඔහු ආමන්ත්‍රණය කළේ පුළුල් වූ මේසයට එපිටින් හිඳගෙනය. "මම ඉන්ස්‌පෙක්‌ටර් වින්ටර්ස්" කතාව මුලින් ම තමුන්ගෙන්ම පටන් ගන්න එක හොඳයි. ඒක අපි හැමෝටම පහසුවක් වේවි. විශේෂයෙන්ම තමුන්ටත්.
කැරලි ගැසුණු කළු පැහැති කොණ්‌ඩයෙන් යුත් තරුණයා සිය දෙතොල තෙත් කර ගත්තේය. "ඔයගොල්ලෝ හිතන්නෙ මම අර ඒ දරුවාව පැහැර ගත්තා කියලයි.... ඒත් ඔයාලට වැරදීමක් වෙලා තියෙන්නේ."
පොලිස් පරීක්‍ෂකවරයාට තිබුණේ පුළුල් මුහුණකි, තියුණු මුවකි. එහෙත් මෙවර සිනහ ගියේය.
"ඒක අඩුම තරමින් හොඳ ආරම්භයක්‌වත් නෙමෙයි..." ඔහු පෝරම කොළයක් එළියට ඇද පෑනක් අතට ගත්තේය. "නමයි.... ලිපිනයයි.....?"
"ජෝ මැනෙටි, අංක 284, හැත්තෑ නමය වීදිය" ඔහුගේ ස්‌වරය උද්යෝගිමත් නැත. එහි ගැබ්ව ඇත්තේ අපේක්‍ෂා භංගත්වයකි.
පොලිස් පරීක්‍ෂකවරයා හිස සෙළවූයේය. "රැකියාව....?"
"මම සංගීතවේදියෙක්..... ඒත් දැන් මම ඒක කරන්නේ නැහැ..."
"විවාහ වෙලාද....?"
ජෝ හිස සෙළවූයේය. "ඔව්.... ඒත් දැන් එයා මාව අත්හැරලා ගිහින්. එයා දැන් පදිංචි වෙලා ඉන්නේ වෙන තැනක"
පොලිස් පරීක්‍ෂකවරයා හැම දෙයක් ම සටහන් කර ගත්තේය. ඉන් අනතුරුව ඔහු එක එල්ලේ හිස ඔසවා ඔහු දෙස බලමින් මෙසේ ඇසීය. "මොකක්‌ද හේතුව....? මම අදහස් කරන්නේ මුලින්ම ළමයා පැහැර ගත්ත එකයි පස්‌සේ ආපහු ඒ විදියට ළමයාව ගෙනත් භාර දුන්නු එක ගැනයි...."
ජෝ ගැඹුරු හුස්‌මක් ගත්තේය. "මම ළමයව පැහැර ගත්තේ නැහැ. මම ළමයාව ගෙනල්ලා භාර දුන්නා විතරයි."
අඳුරු පැහැති පෙනුමකින් යුත් තරුණයා දෙපැත්තෙන් සිටි තම සහායකයන් දෙදෙනා දෙස පොලිස් පරීක්‍ෂකවරයා බැල්මක් හෙළුවේය. ඉන් පසුව ඔහු සිය සිරකරුවා දෙස හෙළුවේ මිත්‍රශීලී බැල්මක් නොවේ. "දැන් අපි ඔය තේරවිලි කතා නවත්වමු... මොකක්‌ද තමුන්ට කියන්න තියෙන්නේ.....?"
ජෝ යාන්තමින් සෙළවුණේය. "මම කාරෙක එළව එළවා හිටියේ.... මම හුඟාක් දුර කාරෙක අරගෙන ගියා... ටික වෙලාවකට මම නතර වෙලා ඉන්න තැනින් ඈත් වෙලා ඉන්නයි මට ඕන වුණේ. මම සුපර් මාර්කට් එක ළඟ කාරෙක නතර කරලා බඩු වගයක් අරගෙන එන්න ගියා. මම ඇවිත් බලනකොට දරුවා මගේ කාරෙකේ ඉස්‌සරහ සීට් එකේ හිටියා. එතැන පොඩි සටහනක් තිබුණා මේ මිලර්ගේ දරුවා කියලා...."
පොලිස් පරීක්‍ෂකවරයා අවිශ්වාසයෙන් හිස සෙළවූයේය. "ඒ සටහනට මොනව ද කළේ....?"
"මම ඒක දරුවාගේ කමිසයෙන් ගලවලා ගත්තා" ජෝ පැවසුවේය. "දරුවා වෙහෙස නිසා අඬ අඬා තමයි හිටියේ. ඒ නිසා මම එයාට කිරි ටිකක් දුන්නා. ඊට පස්‌සේ මම ඒ සටහන ඉරල දැම්මා."
"ඔය කිවුව හැම දෙයක්‌ම බොරු මනස්‌ගාත නෙමෙයි කියලා ඔප්පු කරන්න නම්...." තවත් කඩදාසියක් සොයන අතරේ කටහඬ අවදි කළ පොලිස් පරීක්‍ෂකවරයා, "අපිට කියන්න තමුන් ගිය කඩයේ නමයි. තැනයි, ඔයා එතැනට ගිය වෙලාවයි...."
ජෝ එම තොරතුරු ලබා දුන්නේ මෙසේද කියමිනි. "ඊට පස්‌සේ දරුවත් අරගෙන කාරෙකින්ම මම ඉන්න තැනට ආවා...."
"හොඳයි දැන් අපි එතැනට එමු" පොලිස් පරීක්‍ෂකවරයා එසේ කීවේ තමන් ලියාගත් තොරතුරු ඇතුළත් කඩදාසිය තම සහායකයකුට පවරා ඔහුට මෙසේ ද අණ දෙමිනි." මේ ගැන හොයලා බලන්න"
පොලිස් පරීක්‍ෂකවරයා යළිත් සිය අවධානය ජෝ වෙත යොමු කළේය. "මිලර්ගේ දරුවා පැහැර ගෙන ගිහින් කියන එක තමුන් නොදැන හිටියා වෙන්න බැහැනේ....?"
අඳුරු පෙනුමැති තරුණයා හිස සෙළවූයේය. "මම හවස කාරෙක එළවනකොට කාර් එකේ රේඩියෝ එකෙන් ඒ ගැන මට අහන්න ලැබුණා."
සිය දැත් එකිනෙක තදින් පිරිමැදි පොලිස් පරීක්‍ෂකවරයා මේසය ඉදිරියට නැඹුරු වූ අතර ඔහුගේ ස්‌වරයෙහි ගැබ්ව තිබුණේ බරපතළ චෝදනාත්මක ස්‌වරූපයකි. "ඒ කියන්නේ මෙච්චර දෙයක් වෙලත් දරුවා තමුන් ළඟ පැය ගාණක් තියාගෙන හිටියා මිසක් වගකිව යුතු තැනකට ගෙනියන්න කිසිම උත්සාහයක් ගත්තේ නැහැ. මේ කතාන්දරයට මම රැවටෙයි කියලද තමුන් හිතුවේ...?"
ජෝ දෙවුර හැකිළුවේය. "මම කියන්නේ ඇත්ත" ඔහු පැවසුවේ සාවධානවය.
"මම හිතන්නේ තමුන් මිලර්ගේ දරුවා පැහැරගෙන අන්තිමට තමන්ටම තමුන් කරන්නේ කියන්නේ මොනවද කියන එක හිතාගන්න බැරිව ගියා..." පොලිස් පරීක්‍ෂකවරයා ගිගිරුවේය. "ඒකයි තමුන් ආපහු සැරයක් දරුවාව එයාගේ දෙමව්පියන් ළඟට අරගෙන ගියේ."
පොලිස් පරීක්‍ෂකවරයාගේ මේසය මත ඇති දුරකථනය නාදවූයෙන් රිසීවරය ඔසවා මිනිත්තු කිහිපයක් එයාට සවන් දුන් පොලිස් පරීක්‍ෂකවරයා කිසියම් දෙයක් වටහා ගත්තාක් මෙන් තරහින් ගෙරවූයේය. අවසානයේදී රිසීවරය තබා ඔහු ජෝ මැනෙටි දෙස ඔරවා බැලුවේ සිය දෙනෙත්වලින් අමුතුම ආකාරයේ දීප්තිමත් මවමිනි. එම දීප්තිය කිසියම් ආකාරයක අවබෝධයක් නිසා ඇති වූවක් බව පෙනෙන්ට තිබිණ.
"ජෝ" ඔහු කටහඬ අවදි කළේය. "ඒ කෝල් එක ආවේ ඔයාගේ මහල් නිවාසයෙන්. අපේ අයගෙන් කෙනෙක් ඔයා ගැන සමහර දේවල් හොයා ගෙන තියෙනවා. මාස කීපයකට කලින් ඔයාට ඔයාගේ අවුරුදු හයේ පුතා නැතිවුණා කියන්නේ ඇත්තද?"
ඒ ප්‍රශ්නයත් සමග ජෝ මැනෙටි ඊට ප්‍රතිචාර දැක්‌වූයේ අස්‌වාභාවික ස්‌වභාවයකිනි. ඔහුගේ මුහුණ වඩාත් සුදුමැලි වූ අතර සිය අසුනේ හරිබරි ගැසුණු ඔහුගේ මුහුණෙන් කිසිදු ආකාරයක හැඟීමක් පළ නොවීය. ඔහු පිළිතුරු දුන්නේ ඒකාකාරී ස්‌වරයකිනි. "පාරේ ගිය ට්‍රක් එකකට හැපිලයි පුතා නැතිවුණේ. ඒක වුණේ මම රස්‌සාවෙ වැඩකට ටවුන් එකෙන් පිටට ගිහින් හිටිය වෙලාවකයි."
පොලිස් පරීක්‍ෂකවරයාගේ ගාම්භීර මුහුණේ වූයේ විනිවිද යන බැල්මකි. සිය මේසය මතුපිට වෙත නෙත් යොමු කළ පොලිස් පරීක්‍ෂකවරයා කටහඬ අවදි කළේ සිහින් ස්‌වරයෙනි. "මේ රස්‌සාවේදී පුලුවන් තරම් මානුෂික වෙන්න මම උත්සාහ කරනවා කියන එක තමුන්ට කියන්න මං කැමතියි ජෝ.... ඒක හැම වෙලාවෙදිම කරන්න පහසු දෙයක් නෙමෙයි. ඒත් මම එහෙම කරනවා. තනියම දරුවෙක් එදා වඩා ගන්න එක ඒ තරම් ලේසි වැඩක් නොමෙයි කියලා මං දන්නවා. ඒත් හැම සාක්‍ෂියක්‌ම තියෙන්නේ තමුන්ට විරුද්ධවයි. හුඟාක් වෙලාවට තමුන් වගේ පසුබිමක් තියෙන කෙනෙක් මේ වගේ දේකට ගෑවුණාම සිද්ධ වෙන දේ තමයි මෙතැන වෙලා තියෙන්නේ. බොහොමයක් වෙලාවට ඒක සිද්ධ වෙන්නේ අම්මා කෙනෙක්‌ට තමාගේ දරුවෙක් නැති වුණාමයි. තමුන් මං කියන එක අහගෙන ද ඉන්නේ....?"
ජෝ ඔහු දෙස බැලුවේ විඩාපත් දැසිනි." මම ඒක කළේ නැහැ ඉන්ස්‌පෙක්‌ටර්" ඔහුගේ හඬෙහි ගැබ්ව තිබුණේ මෘදු ස්‌වරයකි.
හොඳයි පොලිස් පරීක්‍ෂකවරයා විඩාපත් ස්‌වරයෙන් කතාව ඇරඹුවේය. "දැන් අපි බලමු ළමයා පැහැර ගත්ත වෙලාවේ තමුන් හිටියේ කොහේද කියලා. අද උදේ එකොළහයි තිහට විතර තමුන් හරියට ම හිටිය තැන කියමු බලන්න...."?
ජෝ හිස පහතට නැමුවේය." මම දන්නේ නැහැ. කොහේ හරි තැනක කාරෙක එළවන ගමන්"
"ඒක ඒ තරම් සාර්ථක පිළිතුරක් නෙමෙයි... එහෙම නේද....?" පොලිස් පරීක්‍ෂකවරයාගෙන් කටහඬෙහි ගැබ්ව තිබුණේ තරමක උපහාසාත්මක ස්‌වරයකි. ළමයව අරගෙන ගිහින් තියෙන්නේ එයාගේ මහල් නිවාසය ඉස්‌සරහින් එකොළහයි තිහත් එකොළහයි හතළිස් පහත් අතර වෙලාවේ. ඒ වෙලාවේ තමුන් වෙන තැනක හිටියා කියලා ඔප්පු කරන්න බැරි වුණොත් තමුන්ට සිද්ධ වෙන්නේ ලොකු අමාරුවක වැටෙන්න."
තරුණයා යළිත් හිස එසවුයේය. "මේ කිසිම දෙයක් ඔප්පු කරන විදිහක් ගැන මට පේන්නෙ නැහැ" ඔහු පැවසුවේය. "මගෙ ඔළුවට ලොකු බරක් දැනුනම මට මගේ කාමරයේ ඉන්න පුළුවන් කමක් නැහැ. මම කාරෙක අරගෙන එළවනවා. කොහෙට හරි... මගෙ ඔළුවට සහනක් දැනෙනකම් නිකම් ඔහේ කාරෙක එළවනවා...."
"තමුන් අද ගියේ කොහාටද....?"
"ටවුන් එකෙන් උතුරු පැත්තට. මම ගම්මානය පැත්තේ ටිකක් ඈතට ගිහින් ආපහු අනිත් පැත්තට ආවා."
"ඒකත් එහෙම ද...? පොලිස් පරීක්‍ෂකවරයා පැවසීය." එතකොට තමුන් එක්‌ක කවුරුත් හිටියේ නැද්ද....? තමුන්ව දන්න අඳුනන කවුරුවත් මුණ ගැහුණේ නැද්ද...? එහෙම නැතිනම් පෙට්‍රල් ෂෙඩ් එකක හරි රෙස්‌ටෝරන්ට් එකක හරි පොඩ්ඩකටවත් නැවතුණේ නැද්ද...."?
"කාරෙකේ පෙට්‍රල් පිරිලා තිබුණා. ඒ වගේම මේ දවස්‌වල මට වැඩිය කෑමට ප්‍රියක් නැහැ." ඔහුගේ ස්‌වරය අධෛර්යවත්ය.
ප්‍රශ්න කිරීම දිගින් දිගටම සිදුවූ අතර ලැබුණු පිළිතුරුවල ගැබ්ව තිබුණේ ආරම්භයේදී මෙන්ම බලාපොරොත්තු විරහිත ස්‌වභාවයකිනි. බොහෝ වෙලාවකට පසුව පොලිස් පරීක්‍ෂකවරයා බාහුවෙන් ඔහු ග්‍රහණය කරගෙන කාමරයේ දොර වෙත රැගෙන ගියේය. කොරිඩෝවේ රාජකාරියේ යෙදී සිටි නිල ඇඳුම් ලා ගත් පොලිස් නිලධාරියා ඔහු සාමාන්‍ය සිර මැදිරියක් වෙත ගෙන ගියේය.
පසුදා උදැසන දහයට ඔහු නැවතත් පොලිස් පරීක්‍ෂකවරයාගේ කාමරයේ තිබූ මේසය අනෙක් පැත්තේ හිඳ ගෙන සිටියේ යළිත් වරක් ඒ විසල් මුහුණැති මිනිසා ඉදිරිපිටය.
පොලිස් පරීක්‍ෂකවරයා ඉදිරියට නැමුණේය. "මැනෙටි... මම කැමතියි තමුන්ගේ කතාන්දරයට ආපහු එක සැරයක් යන්න. තමුන් ඊයේ උදේ නැගිට්‌ට වෙලාවේ ඉඳන් වෙච්ච දේවල් හැම එකක්‌ම."
සිය අසුනේ විඩාපත්ව එල්ලී වැටුණු කළු පැහැති හිසකෙසින් යුත් තරුණයා සිය සුපුරුදු කතාන්දරය යළිත් වරක් කටපාඩමින් මෙන් කියන්නට වූයේ කෙතරම් වේදනාබර සහ විඩාපත් පහත් හඬකින් ද යත් ඔහු කී දේ තෝරා බේරා ගන්නට පොලිස් පරීක්‍ෂකවරයාට තරමක වෙහෙසක් ගන්නට සිදුවිය.
"මම කිව්ව සේරම ඇත්ත" අවසානයේදී ඔහු කීවේය.
පොලිස් පරීක්‍ෂකවරයා සිගරැට්‌ටුවක් දල්වා ගත්තේය. "තමුන්ට ඒක එහෙම වෙන්න පුලුවන්. ඒත් මට නම් ඒක පේන්නේ පැහැරගෙන යෑම කියන චෝදනාව යටතේ තමුන්ට නඩුවකට මුහුණ දෙන්න සිද්ධ වෙන්න යනවා වගෙයි."
ඒ මොහොතේම දොරට තට්ටු කරන හඬක් ඇසුණු අතර පොලිස් නිලධාරියකු කාමරයට ඇතුලු වූයේ අළු පැහැති නිල ඇඳුමකින් සැරසී ගත් තවත් මිනිසෙකු ද සමගය.
පොලිස් නිලධාරියා පොලිස් පරීක්‍ෂකවරයා ඇමතුවේය. "මේ මහත්මයාට ඕනලු සර්ට යමක් කියන්න."
"ඒක හුඟක් වැදගත් දෙයක් ද....?" පොලිස් පරීක්‍ෂකවරයාගෙන් දිස් වූයේ කෝප සහගත පෙනුමකි.
අළු පැහැති නිල ඇඳුමින් සැරසුණු කුඩා මිනිසා පියවරක් ඉදිරියට පැමිණ ඔහු තම කතාව ආරම්භ කළේය. "මම හිතන්නෙ ඒක එහෙමයි කියලා සර්" ඔහු ජෝ මැනෙටි වෙත මිත්‍රශීලී සිනහවක් පෑවේය. "මේ තරුණයා මිලර්ගේ දරුවාට පැහැර ගත්තේ නැහැ."
ඔහු කී දෙයින් කාමරය තුළ පැතිර ගියේ ඉදිකටුවක් පවා බිම වැටුණ ද හඬ නැගෙන තරමේ පුළුල් නිශ්ශබ්දතාවයකි.
පොලිස් පරීක්‍ෂකවරයා මවිත වූ බවත් පෙන්නුම් කළේය. "මොකක්‌ද තමුන් කිව්වේ...."?
"මම අද උදේ පත්තරේ කියවද්දී මැනෙටි මහත්මයාගේ පිංතූරය පත්තරයේ දැක්‌ක ගමන් මේ එයා කියලා ඒ මොහොතේම අඳුන ගත්තා. "අළු පැහැති ඇඳුමින් සැරසුණු කුඩා මිනිසා පැවසුවේ තරමක අභිමානයකිනි."
එයා කවුරු කියලද...? පොලිස් පරීක්‍ෂකවරයා ප්‍රශ්න කළේ සිය ඉවසීමේ සීමාව ඉක්‌මවා යන ස්‌වභාවයක් පළ කරමිනි.
"මම රාජකාරි කළ හයිවේ එකේ ගේට්‌ටුවේ දී තමන්ගේ ඉතුරු ගන්න නතර වුණේ නැති එක්‌කෙනා විදියට. එයා මට ඩොලරයක් දුන්නා. ඒත් මම ඉතිරි සල්ලි දෙන්න කලින් එයා යන්න ගියා. එයා හොඳ කල්පනාවකින් හිටිය බවක් පෙනුණේ නැහැ. මම එයා යනවත් එක්‌ක කෑ ගැහුවා. ඒත් ඒක වැඩක් වුණේ නැහැ. ඒ මෙයාම තමයි. ඒ වගේම එතකොට වෙලාව හරියටම එකොළහයි තිහයි. ඒක මම හරියට ම දන්නේ මගේ ඩියුටි නිසයි. එකම වෙලාවේ ටවුන් එකෙන් එළියට යන්නයි ඒ වෙලාවෙම ටවුන් එක ඇතුලේ ඉන්න දරුවෙක් පැහැර ගෙන යන්නයි එයාට බැහැනේ."
පොලිස් පරීක්‍ෂකවරයා රවා බැලුවේය. "මේ හැම දෙයක් ම මීට කලින් තමුන්ට වාර්තා කරන්න බැරි වුණේ ඇයි..."?
කුඩා මිනිසා දෙවුර හැකිළුවේය. "මේ කතාව පත්තරේ දකිනකල් ඒක එච්චර වැදගත් දෙයක් වෙයි කියලා මම හිතුවෙ නැහැ."
පොලිස් පරීක්‍ෂකවරයා ජෝ මැනෙටි වෙත බැල්මක් හෙළු අතර ධෛර්යවත් කරවන සිනහවක් ඔහුගේ විසල් මුහුණේ ඇදී යමින් තිබිණ. "තමුන් නිර්දෝෂයි කියලයි පේන්නේ තරුණයා..."
සුදුමැලි මුහුණින් සහ කළු පැහැති කැරලි හිසකෙසින් යුත් තරුණයාගේ මුහුණේ සැනසුම් සහගත බවක් පෙන්නුම් කරන කිසිදු විශේෂ සළකුණක් දැකිය හැකි වූයේ නැත. "මං කිව්වා මම කියන්නේ ඇත්ත කියලා." ඔහු පැවසීය.
ටික වේලාවකට පසු පොලිස් පරීක්‍ෂකවරයා ඔහු දුටුවේ පොලිස් මූලස්‌ථානයේ දොරටුව අබියසදීය. මෙම උස් මහත් මිනිසාගෙන් දක්‌නට ලැබුණේ අසාමාන්‍ය ස්‌වභාවයක් වූ අතර නුහුරු පෙනුමක සේයාවක් වෙත ඇදී ගොස් තිබිණ. එහෙත් සිය සුරත ගෙන ජෝ මැනෙටි වෙත අතට අත දීමේදී එහි වූයේ දැඩි ග්‍රහණයක් සහ මිත්‍රශීලී ස්‌වභාවයකි.
"මෙතැන සිට තේරුම් ගන්න බැරි එකම දෙයක් තියෙනවා." ඔහු පැවසුවේ සිය විමසිලි සහගත දැසින් තරුණයා දෙස විපරම් කරමිනි. "ඇත්තටම ඒ ඇයි කියලා තාම තේරුම් ගන්න බැහැ. ඇයි තමුන් ඒ දරුවා කෙළින් ම අපි ළඟට ගෙනාවෙ නැත්තේ.
ජෝ මැනෙටි පිළිතුරු දීමට පැකිළුණේය. පොලිස් පරීක්‍ෂකවරයාගෙන් ඔබ්බෙහි වූ කලබලකාරී මාවත අද්දර කුඩා දරුවන් කෙළි සෙල්ලම් කරන ස්‌ථානය වෙත ඔහු වෙත් රැඳවූයේය. "මම හිතන දේ ඉන්ස්‌පෙක්‌ටර්ට තේරුම් ගන්න පුලුවන් වෙයිද කියන එක ගැන මට සැකයි." ඔහු කීවේ නිසොල්මන්වය.
"මට ඒකට අවස්‌ථාවක් දෙන්න" පොලිස් පරීක්‍ෂකවරයා පැවසුවේය.
"හොඳයි තරුණයා කීවේ ගැඹුරු සුසුමක්‌ද හෙළමිනි." මට ඕන වුණේ තමන්ගේ නැති වුණු දරුවා ආපහු ලැබුණු තාත්තා කෙනෙක්‌ගේ මුහුණේ පෙනුම බලාගන්නයි.
ආපසු හැරී නොබලා ම පිය ගැටපෙළ සෙමින් බැස ගිය ඔහු ජනාකීර්ණ වීදියේ නොපෙනී ගියේය.
http://www.divaina.com/2012/08/12/nimna03.html
බැන්දම හිරේ වැටෙනවලු. නොබැන්දහම දෙලොවම නැති නිකමෙක් වෙනවලු. මොන කතාද මන්දා.. මන් නම් තනිකඩයා. විවාහ වෙන්ඩ ආසයි. ඒත් අතමිට සරු නැති හින්දා බයයි. බඳින්ඩ දැන්ම අදහසක් නෑ. තනියම ජීවත් වෙන්ඩ බැරි යුගයක බිරියක් නඩත්තු කරන්නේ කොහොමද? වැඩ කරන්නේ නම් මහා භාණ්ඩාගාරේ. ඒත් හදිස්සියකට රුපියල් සීයක් ඉල්ලගන්ඩ නෑ. ඇයි අම්මලටයි, සහෝදරයන්ටයි, නෑදෑයන්ටයි කරන්ඩ ගියහම සල්ලි ඉතිරි වෙන එකක් යැ. නුදුන්නොත් නෑදෑයෝ අම්මවත් මතක් කරාවි.
”මොකද උඹ බඳින්නැද්ද නාකිවෙලා සිල් රකින්ඩද කල්පනවා” අම්මගේ කරදරේ ඉවරයක් නෑ.
”පුතේ ඉක්මනට බඳින එක හොඳයි. වයස ගියහම ළමයි නැතුව යාවි. ළමයි නැති විවාහයක් වැඩකුත් නෑනේ.”
විවාහයෙන් ඉවර වෙන පාටක් නෑ. ළමයි හදන්ඩත් ඕනෙලු. තාත්තටත් ඕන්නැති දෙයක් නෑ. ළමයින්ගේ කිරිපිටිවලට ගෑනිගේ ෂෝක්වලට සල්ලි සල්ලි, මට නම් බෑ බඳින්ඩ.
”බැහැයි කියල හරියන්නේ නෑනේ මහත්තයා. හොඳ හැඩ වැඩ සීදේවි කෙල්ල. වැඩි වයසකුත් නෑ. එයා නර්ස් නෝනා කෙනෙක්. දේපළ එහෙමත් තියෙනවා.”
මඟුල් කපුවා අහිංසක කෙල්ලෙකුත් අමාරුවේ දාන්ඩ හදනවා. මටත් මහ ලොකු දේපළක් තියෙනවයි කියලා කතා කරාවි. වංචාව, බොරුව හොඳ නෑ. කපු උන්නැහේ මඟුල් කරල ගාණ කඩා ගෙන පැනලා යාවි. ගෑනිට වග උත්තර බඳින්ඩ වෙන්නෙ මටනේ. ඒ ගෑනි මගෙ ඔළුව කාවි. කපුවා ලව්වා බොරු කරලා අල්ල ගත්තයි කියලා.
එන්ඩ එන්ඩ බලපෑම් වැඩි වෙනවා. මඟුල් යෝජනා ගලා ගෙන එනවා. මොන මළ කරදරයක්ද මන්දා. ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි. කපු උන්නැහේ ගෙනාව යෝජනාව තීන්දුයි. දෑවැද්ද පනස් දාහයි. කනකර බඩු, අක්කර කාලක ඉඩම් කැබැල්ලක්, අනේ මන්දා මන් හතර කේන්දරේ පාළු එකා. මනාලිය බෞද්ධයෙක් වුණා නම් විවාහය කෙරෙන්නෙ නෑ. හඳහන් ගැළපෙන්නේ නැතුව විවාහයක් කෙරේවියැ. මනාලිය කතෝලික වුණ හින්දා හොඳට ගියා. මගේ අවාසනාවට ඒ ගොල්ලන්ට හඳහන් නෑනෙ.
”ලොකු පුතාගේ මඟුල මහ ඉහළින් ගන්ඩ ඕනේ.”
අම්මගේ අදහස නෑදෑයෝ අනුමත කරනවා. ඒ ගොල්ලෝ මේ තීන්දු ගනීවි. මමනේ විකිණෙන්නේ. ඔහොම ගියොත් මඟුලෙන් පස්සේ අවමඟුල කරන්ඩයි වෙන්නේ. අම්මලාගේ කරදරෙන් බේරෙන්ඩ බැරි තැන යාළුවන්ට, බැංකුවට ණය වෙලා මඟුලත් ජයටම සිදුවෙනවා. සේරම හොරු. මඟුල් ගෙදරින් ගාණක් ලැබෙයිද. මොන පිස්සුද, සීයක කාලා විසි පහක් දාලා යාවි. වෙඩි පිට වෙඩි ගහනවා. හනිමුන් යන වේලාව හරි. අක්කා මල් දැමූ වතුර වීදුරුව අරන් පෙරට එනවා. රෙදි නැන්දා සුදු රෙදිකඩ අරන් පස්සෙන් එනවා. අයෝධ්‍යා රෙදිකඩ ලබාගන්නවා.
”අයෝධ්‍යා... විසිකරනවා ඔය රෙදි කෑල්ල”
අම්මලගේ, තාත්තලගේ රෙදි නැන්දලගේ ඇස් උඩ ගියා. හරියට මිනීමරුවෙක් දිහෑ බලනවා වගේ මා දිහා බැලුවෙ. මහලොකු චාරිත්‍ර කැඩුවට යකා නැගලා ඇති. බැන්ද ගෑනි පිරිසිදු වුණත් අපිරිසිදු වුණත් අත අරින්ඩ යැ.
මඟුල් කාලා ඉවරයි. මාත් හාන්සියි.
”මචං උඹේ මඟුල රියල් එකට තිබුණා.”
බේබද්දෝ ටිකට හොඳට බොන්න කන්න තිබුණනේ. ඒකයි හොඳ. උන් බීල මටයි වෙරි වුණේ. එන පොට හොඳ නෑ වගේ.
”කෝ පියුමාල් ඔයාගේ ගේ”
”කවුද කිව්වේ මට ගෙයක් තියනවයි කියලා.”
”ඇයි මඟුල් කපුවනේ කිව්වෙ.”
කපු උන්නැහේ අයෝධ්‍යාලව රවටලා. දීපංකෝ උත්තර.
”අක්කර දෙකේ පොල් ඉඩම කොහෙද තියෙන්නේ.”
”මොන කරදරයක් ද මන්දා මට ඇති ඉඩමක් නෑ.”
”සේරම බොරුකාරයෝ.”
අයෝධ්‍යා ඇනුම්පද කියන්නේ මට. එයා ඇවිල්ලා තියෙන්නේ ගෙවල් ඉඩම් බලාගෙන. රුපියල් ශත ලෝකේ එයා එහෙම හිතන එකත් හරි.
බල අරගලයක් පටන් අරන්. අම්මා බලය රඳවා ගන්නත්, අයෝධ්‍යා බලය අල්ලා ගන්නත්... සටන් වදිනවා. දෙදෙනාම හෙම්බත් වෙලා.
”මට නම් බෑ තවත් මේ ගෙදර ඉන්ඩ.”
අයෝධ්‍යාට මක්වෙලාද. දැන් ඉතින් ගෙයක් හොයපල්ලකෝ.
”මිස්ට පියුමාල් බැන්ඳට පස්සේ නිවාඩු දානවා වැඩියි.” ලොක්කා කියනවා.
හරියට ලොක්කාගේ නිවාඩු මන් ගන්නවා වගේ කතා කරන්නේ. දවසක් නිවාඩු දාලා කකුල් දෙක ගෙවෙනකම් ඇවිදිලා අමාරුවෙන් ගෙයක් හොයා ගත්තා.
”උඹට උපන්දා ඉඳලා හදපු අම්මට වැඩිය ගෑනි ලොකු උණා.”
අම්මා චෝදනා මුඛයෙන් කතා කරනවා.
”මම නම් උපන් තේකට කුලී ගෙයක ඉඳල නෑ.”
අයෝධ්‍යාට මාන්නයකුත් ඉහට ගහලා.
”පියුමාල් අපි අපේම කියලා ලස්සන ගෙයක් හදා ගම්මුකෝ.”
ණය ගන්ඩ ගිය මිනිහ තමයි බැංකුවෙ නීති දන්නේ. අවුරුදු තිස්පහක පැටිකිරිය ඉල්ලයි. ඔප්පු පිරිසිදු නැහැයි කියයි. බොහොම අමාරුවෙන් ලෝන් එක පාස් කරගත්තා.
”අපි ඔයාගෙ ඉඩමේ ගේ හදමු.”
අයෝධ්‍යා එක පයින් කැමතියි. හැමදාමත් ගෙවල් කුලී ගෙවන්ඩ බෑනෙ.
”කාමරයක් සුද්ධ කරන් අලුත් ගෙදරට පදිංචියට යන්.”
ගෑනිගෙ මුහුණ නරක් වෙලා.
”වැඩ ඉවර කරලා උත්සවයක් අරන් ගෙට ගෙවදෙමු.”
ගෙයි වැඩ ඉවර කරන්න නම් තවත් ලක්‍ෂ දෙකක් විතර යයි. අයෝධ්‍යා කියන විදිහට වැඩ කළොත් මේ කපේදි ගෙට යන්ඩ හම්බ වෙන්නේනෑ.
”මගෙ ඇඟට අමුත්තක් වගේ වී.ඕ.ජී. හම්බවෙන්ඩ යන්.”
මළජූලියයි. අයෝධ්‍යාට ළමයෙක් හම්බවෙන්ඩ. ඩොක්ට කිව්වා වැඩිය වැඩ කරන්ඩ එපැයි කියලා. කොටින්ම හයියෙන් අඩිය තියන එකත් හොඳ නැහැයි කිව්වා. දොස්තරලා තමයි ගෑනු නරක් කරන්නේ.
”මට නම් බෑ දර ළිපේ උයන්ඩ. රයිස් කුකර් එකක් අරන් දෙන්ඩ.”
කොහේ තියෙන සල්ලි ද?...
”මන් මොනව හරි ඉල්ලුවොත් තමයි සල්ලි නැත්තෙ. සහෝදරයන්ටයි, අම්මටයි, තාත්තටයි, වියදම් කරනඩ නම් සල්ලි තියෙනවා.”
”අනුන්ගෙ ගෙවල්වල කුලියට ඉන්නවට වැඩිය තමන්ගෙම ගේක ඉන්න එක මොන තරම් සතුටක්ද?”
නැන්දම්මාගේ අදහස මාත් අනුමත කරනවා.
”බබා හම්බ වෙනකොට ගවමන්ට් හොස්පිට්ල් එකකට වැඩිය හොඳයි ගෙවන වාට්ටුවක නතර වෙන්ඩ තිබුණ නම් පහසුකම් හොඳයිනේ.”
කමක් නෑ අමාරුවෙන් හරි දරුවා වෙනුවෙන් ඒකත් කරන්නම්කෝ. මගේ පැටියා ඉක්මනින් අපේ පුංචි ලෝකය විසිතුරු කරන්නට පැමිණේවි.
”නහය කට තාත්තගෙ වගේමයි.”
”පියුමාල්ගෙ කපාපු අච්චුව.”
යහළුවෝ කියාවි. මගෙ දරුවා මන් නැතුව උඹලා වගේ වෙනවද? එතකොට මන් එහෙම කියනවා.
”රක්ෂා කරන්ඩයි, උයන්ඩයි පිහන්ඩයි මට බෑ. ගෙදර වැඩට ගෑනියෙක් හොයන් එන්ඩ.”
වැඩකාරියෝ හොයන එක කළුනික හොයනවටත් වැඩිය අමාරුයි. හම්බවුණත් හම්බුවෙන්නෙ ලෝකෙ කාලා වතුර බීපු අම්මණ්ඩි කෙනෙක්. දන්න අඳුනන තැන්වලට කියලා, ගිහිල්ලා අවුරුදු දහඅටක විතර කෙල්ලෙක් අමාරුවෙන් හොයාගත්තා.
”කෙල්ලට වැඩිය හොඳයි මැදිවියේ ගෑනියෙක් හොයා ගත්තා නම්.”
අයෝධ්‍යා කෙල්ලට කැමති නෑ වගේ. එක පිට එක තහන්චි වැටෙනවා. රෑට වැඩියෙන් ඇහැරන් ඉන්ඩත් බෑ. කුස්සිය පැත්තට යන්ඩත් බෑ. මේ කෙල්ල ගෙදර තියාගත්තොත් මිනීමරාගන්ඩ වෙන්නේ. ඒකිගෙත් මනමාලකම ඉහ වහා ගිහිල්ලා. මොන කරුමයක්ද මන්දා. අයෝධ්‍යා මාව අවිශ්වාස කරනවා. එක ගෑනියකුගෙන් බැටකන මට තවත් ගෑනු ඕනෙ නෑ. මගේ හිසට යක්‍ෂයා ආරූඪ වෙනවා.
”කෙල්ලව අද හෙටම ගෙනාපු තැනටම දමලා එන්ඩ.”
”මොනවද ඔයා කියන්නේ තවත් මට බෑ වැඩකාරියෝ හොයන්ඩ.”
”කෙල්ලව අරිනවට අකමැති බව මට තේරුණා.”
මට මාව පාලනය කරගන්ඩ බැරිව යනවා.
”මොනවද වනචර ගෑනියෙ උඹ කියන්නේ. මේ අහිංසක කෙල්ල එක්ක බුදියගත්තයි කියලද?”
”ඔව් ඒකි අහිංසක කෙල්ල අරිනවට අකමැතියි වගේ.”
”දොස්තරලත් එක්ක රෑට නටන නාඩගම්. මන් නොදන්නව කියලද හිතේ.”
”ඔහේ වගේ වනචරයෙක් නෙමේ මන්.”
”බැහැපන් පරට්ටි එළියට.”
තමුසෙ බහිනවා. මේක මගේ ඉඩම.
”හොඳයි මම හෙටම පිට වෙන්නන්. ආයි නම් මන් තමුසෙව බලන්ඩ එන්නෑ.”
හවස් වෙනකො අයෝධ්‍යා විලිරුදාවෙන් පෙළෙන්නට ගත්තා. වරින් වර සිහිය නැති වෙන්නත් පටන් ගත්තා. එන්නත වීදීමෙන් පසුව ඇය කතා කළා.
”මට ඔයාව සැක නෑ පියුමාල්, කෙල්ල ඔයාව අල්ල ගනියිද කියල බයක් තියනවා.”
අයෝධ්‍යා අමාරුවෙන් හුස්ම ගනිමින් වචන පිට කරනවා. සියුම් වේදනාවකින් ඇඹරෙනවා. මගෙ හිත දැඩි අනුකම්පාවකින් පිරී යනවා.
”කනගාටුයි මිස්ට පියුමාල් ලෙඩාට ටිකක් අමාරුයි.”
වෛද්‍යවරයා මහත් ආයාශයකින් කියනවා.
දෙයියනේ අයෝධ්‍යා වේගයෙන් හුස්ම පිටකරනවා. ඇස්දෙක ක්‍රමයෙන් පිය වෙනවා. මට මහත් හුදකලාවක් දැනෙනවා.
”අයෝධ්‍යා ඔයා නැතුව මට ජීවත් වෙන්ඩ බෑ. අපි රන්ඩුවෙමු. යාළුවෙමු. එහෙම නැත්නම් පවුල් ජීවිතේ රසකුත් නෑනේ. එයාට නපුරක් සිද්ධ වෙන්ඩ එපා දෙවියනේ...”
https://archives.silumina.lk/punkalasa/20120923/_art.asp?fn=ar1209233
ඉන්දීය ලේඛිකා කමලා දාස්
සිංහල අනුවාදය බොබී ජී.බොතේජු
මැදි වයසේ පසුවූ කාන්තාව මරුති ඇම්බැසඩර් රථයෙන් පැමිණෙන අවස්ථාවේ, වේලායුදන් එළදෙනුන්ට ආහාර ලබාදෙමින් සිටි තම අසූ හැවිරිදි මවට උපකාර වෙමින් සිටියේය. අමුත්තිය දැකීමෙන් ඔහු කොතරම් විමතියට පත්වූයේ ද යත් එළදෙනුනට ආහාර වශයෙන් පිළියෙල කර තිබූ කැඳ අඩංගු අඩක් පිරුණු කුඩා බාල්දිය ඔහු අතින් ගිලිහිණ.
ඔහුගේ මව මිනිත්තුවක් හෝ දෙකක් අමුත්තිය පිළිබඳව අවධානය යොමු නොකළාය. අනතුරුව හිස පහත් කර ගනිමින් මෝටර් රිය වෙත ගොස් කතා කළාය. “මට ඔබගෙ ලිපිය ලැබුණා. ඒත් මට ඔබට උත්තර දෙන්න ඕනෙ පුද්ගලිකවයි. ඒ නිසා තමයි උත්තරයක් එව්වෙ නැත්තෙ”
අමුත්තිය සිනාසුණාය. ඇගේ උණුසුම් සිනාව වේලායුදන්ගේ ප්‍රමෝදයට හේතුවිය. එවැනි මිත්‍රශීලී සිනාවක් ඔහු වසර ගණනාවකින් දැක නැත. වයස අවුරුදු විසිතුනේ දී මියගිය ඔහුගේ මල්ලීගේ මරණින් පසු ඔහුගේ මව සිනාසීම නතර කර ඇත. කැබලිවලට කැඩී තිබූ ඔහුගේ සිරුර පොදියකට බැඳ නිවසට රැගෙන පැමිණි අවස්ථාවේ යකින්නියක් වැහුණාක් මෙන් ඔහුගේ මව අඳෝනා නැඟුවාය.
”ඔය පොදිය දිග අරින්න එපා” ඇය විලාප දුන්නාය.” ඔහුගෙ කැබලි බලන්න මට අවශ්‍ය නැහැ.”
අමුත්තිය ඔහුගේ මව පසුපස යමින් විශාල විසිත්ත කාමරයට පිවිසුණාය.
”කරුණාකරල වාඩිවෙන්න” ඔහුගේ මව පැවසුවාය. “අපි ඉන්නෙ මෙහෙ - වේලායුදන් සහ මම – අපේ සේවිකාව අද වේලපහින් ගියා. කාමරය අවුල්වී තිබීම ගැන සමාවෙන්න. අපි කලාතුරකිනුයි මේ කාමරය විවෘත කරන්නෙ. දැන් ලෝකෙ ඉන්නෙ අපි දෙන්න විතරයිනෙ. වේලායුදන්ගෙ තාත්තා ඉන්න කාලෙ හැම හැන්දෑවකම එයාග අමුත්තො හමුවුණේ මේ කාමරයෙදි. ට්‍රැවන්කෝර්, කොචින් වැනි දුර පළාත්වල ඉඳලත් එයාව හමුවෙන්න අමුත්තො ආව.”
”ඔය මගෙ ළමයින්ගෙ පොත්” අමුත්තිය ඒ දෙස ඕනෑකමින් බලන බව දුටු වේලායුදන්ගේ මව පැවසුවාය. “වෙනුගෙයි වේලායුදන්ගෙයි. ඔයා විශ්වාස කරන එකක් නැහැ ඒත් මගෙ මේ පුතා ඉස්සර සාමාන්‍ය කෙනෙක්. දෙවැනි ශ්‍රේණියෙ ඉන්නකොට පන්තියෙ පළමුවැනියා වුණා. ඒ ඔහු අසනීප වෙන්න කලින්. ඒ දවස්වල උණ සන්නිපාතයට බෙහෙත් නැහැ. උණ විකාරය හුඟ කලක් තිබුණා. ඉන්පස්සෙ තමයි අද ඉන්න තත්ත්වෙට පත්වුණේ. අසනීප වෙන්න කලින් පැහැපත් තරබාරු කොණ්ඩේ බොකුටු ළමයෙක්. කවුරුත් එයාගෙ රූ සපුව අගය කළා. දැන් බලන්න එයාගෙ පෙනුමට මොකද වෙලා තියෙන්නෙ කියලා. කෙට්ටුයි. කළුයි. හරියට දර කොටයක් වගෙයි."
”ඔබගෙ පුතාගෙ අස්වාභාවික පෙනුමක් නම් මට පේන්නෙ නැහැ.” ඔහු දෙස බලමින් අමුත්තිය පැවසුවාය. ඇගේ ඇස් පිහාටු පාට කර ඇත. ඇගේ නළල මත වූ තිලකය වේලායුදන්ගේ සතුටට හේතුවිය. එය හරියටම රවුමට තැබූ තිලකයකි. ඇය නියපොතු පාට කර නැත. ඔවුන්ගේ ගෘහ සේවිකාව නළල් පටයක් පලඳින ආකාරය සහ වත්සුණු තවරන ආකාරය ඔහු දැක ඇත. සෑම සන්ධ්‍යාවකම ආපසු තම නිවසට යාමට පෙර ඇය මුහුණ සෝදාගනී.
පොලිසිය පැමිණෙන විට ඔහුව ගබඩා කාමරයට යවා සැඟවෙන ලෙස උපදෙස් දෙනු ලැබිණ. “කට අරින්න එපා” ඔහුට කෑමට කෙසෙල් ගෙඩි කීපයක් දෙමින් ඔහුගේ මව කීවාය. “ඒ අය යනකම් ඔහොමම ඉන්න. එහෙම නැත්නම් ඔයාව හිරගෙදරට අරන් ගිහින් බැටන් පොලුවලින් ගහාවි”
ඒ බොහෝ කලකට පෙරයි. එම සේවිකාවගේ ලස්සන මුහුණ පවා දැන් ඔහුට අමතකය. ගවමඩුව පිටිපස සිටියදී ඇගේ පියයුරු අතගෑමට ඇය ඉඩ දුන්නේ බොහෝ කලකට පෙරයි.
”මම ආවෙ ඇයි කියල දන්නව නේද?” අමුත්තිය පැවසුවාය. “සමාගමේ කොටස් විකුණන්න කැමති නම් මට විකුණන්න. අපේ පවුලට දැන් කොටස්වලින් අඩක්ම අයිතියි. අපට තවත් කොටස් සියයක් ලැබුණොත් අපට පුළුවනි සමාගමේ පාලනය බාරගන්න. ඔබට ඒකට ආශාවක් නැහැනෙ. මට පුළුවන් ඔබට ලක්ෂයක් හෝ දෙකක් වුණත් දෙන්න. ඒක බැංකු ගතකර...”
”අපට සල්ලි අවශ්‍ය නැහැ” වේලායුදන්ගේ මව පැවසුවාය. “අපේ අවශ්‍යතාවට ඇති තරම් මුදල් බැංකුවෙ තියෙනවා.”
වේලායුදන්ගේ යටි සිත ආඩම්බරයෙන් ඉල්පිණ. ඔහුගේ මව අජානනීය අශ්වයකු මෙන් හැසිරෙන්නීය. රුපියල් ලක්ෂ දෙකක් දෙන බව කියද්දීත් ඇය තමන්ගේ අන්ත දුගී තත්ත්වය වසන් කර කටයුතු කිරීමට අදිටන් කරගෙන සිටින්නීය. ඔහු කට වසාගෙන සිනාසුණේය. අමුත්තියගේ මුහුණ අඳුරු විය. ඇය නුහුරු ලෙස අත් ඇඹරුවාය. වේලායුදන් නැවතත් සිනාසුණේය.
”කොටස් සම්බන්ධයෙන් ඔබගෙ හැඟීම් මොනවද කියල මට තේරෙනවා. ඔබට ඒවා ලැබුණෙ ඔබේ සැමියාගෙන්. ඔහු දිවා රාත්‍රි නොබලා සමාගමට සේවය කළා. ඔබ ඔහුගෙ උපැස් යුවළ පාවහන් බෙහෙත් බෝතල් ආදිය රැක ගන්නව වගෙ ඔහුගේ ලියවිලිත් ආරක්ෂා කරනවා”
වේලායුදන්ගේ මව හිස සැලුවාය. අමුත්තියට වේලායුදන්ගේ පියාගේ උපැස් යුවළ, පාවහන් සහ බෙහෙත් බෝතල් දක්නට ලැබිණ.
”වේලායුදන්” මැහැල්ල තම පුතු ඇමතුවාය. “කරුණාකරල අපේ අමුත්තියට කුරුම්බා ගෙඩියක් ගේන්න. හරිම ග්‍රීෂ්මයි. මම දන්න කාලෙක මෙහෙම ග්‍රීෂ්මයක් තිබුණෙ නැහැ. තදටම පිපාසයත් ඇති”
”කරදර වෙන්න එපා. මම දැනුයි තේ බිව්වේ” අමුත්තිය කීවාය.
”අපි තේ බොන්නේ නැහැ” වේලායුදන්ගේ මව කීවාය. “අපි කිරිමෝරු විතරයි බොන්නෙ. ඔයත් කැමති නම් මගෙ පුතා කිරිමෝරු වීදුරුවක් ගෙනේවි”
ඔහු කුරුම්බා ගෙඩියක ඇස්ස කපා එය වීදුරුවකට හිස් කළේය. අනතුරුව බිඳක් තොල ගෑවේය. තමන් තොල ගෑ වීදුරුව ඇගේ දෙතොල්වලත් ගෑවේය යන සිතිවිල්ල නිසා ඔහු තුළ මිහිරි හැගීම් ඇතිවිය. ඇය වීදුරුවෙන් පානය කළ අද්භූත ආකාරය අනුව ඇය ඔහුගේ මනාලිය වනු ඇත.
ඔහු දොර අසලට යන විට කාන්තාව කතාකරන හඬ ඇසිණ. “සල්ලිවලින් ඔහුට මේ ඉඩමෙම සිල්ලර කඩයක් පටන් ගන්න පුළුවනි. මේ කිට්ටුවක කඩයක් නැහැනෙ. මොකක් හරි වැඩක් පැවරුණහම එයාගෙ හිතටත් හොඳයිනෙ. තමන් පවුල නඩත්තු කරන කෙනාය කියන හැඟීම ඇතිවුණහම...”
”එයාට කඩයක් අවශ්‍ය නැහැ. බැංකුවෙ ඇති තරම් සල්ලි තියෙනවා” මැහැල්ල කීවාය. “එයා එච්චර පොහොසතෙක් කොට ඇයි වැඩ කරන්නෙ?”
”ඔබ හරි” අමුත්තිය එකඟවූවාය. නිකටට අතක් තබා සිටින ඕ සතුටින් නොසිටින බව පෙනිණ. ඇය වෙතට දිවගොස් ඇය බදාගැනීමට වේලායුදන්ට අවශ්‍ය විය. ඇත්තෙන්ම ඔවුන් හමුවිය යුතුය. එහි තේරුම ආදරයයි.
”වේලායුදන් ශීතල පොළවේ වාඩිවෙන්න එපා” මව කෑගෑවාය. “ආයිත් ඔයාගෙ හන්දි කැක්කුම හැදේවි”
”මම මෙතන ඉන්නම්. මම ළමයෙක් නෙවෙයිනෙ” වේලායුදන් පැවසුවේය.
”ඔන්න ඔහෙ හිටපුවාවෙ“ අමුත්තිය පැවසුවාය. “කොහොම වුණත් මගේ ඉල්ලීම රහසක් නෙවෙයිනෙ. එයාට ඊට සවන්දීමේ සම්පූර්ණ අයිතිය තියෙනවා. ඔබගෙ කාලෙ ඉවරවුණාට පස්සෙ සියලුම කොටස්වල උරුමකාරයා වෙන්නෙ එයා. එතකොට එයා තීරණය කරාවි සියලුම කොටස් මට විකුණන්න”
වේලායුදන්ගේ මව හිස සලමින් හරස් කැපුවාය. “නැහැ ඒක සිද්ධවෙන්නෙ නැහැ” ඇය කීවාය. “වේලායුදන් තමන්ගෙ තාත්තගෙ කොටස් විකුණන එකක් නැහැ. ඇත්තෙන්ම තාත්තගෙ අයිතිවාසිකම්වලින් කිසිදෙයක් විකුණන එකක් නැහැ. මේ ගෙදරට, අපේ වත්තට, කුඹුරුවලට අපට ඉල්ලීම් ලැබුණා. මම විකිණීම ප්‍රතික්ෂේප කළා. අපි පොහොසතුන් වෙනකොට ඇයි අපි අපේ දේපළ විකුණන්නෙ?”
”අපි පොහොසත් නම් සල්ලි කෝ?” වේලායුදන් විමසුවේය. “මාසෙකට සැරයක් කොණ්ඩෙ කපන්න ලැබෙන මුදල හැරෙන්න මට අම්මගෙන් තඹදොයිතුවක්වත් ලැබෙන්නෙ නැහැ. අම්මා සල්ලිවලට මොකද කරන්නෙ?”
තමා තම මව කෝප ගන්වන බව ඔහු දැන සිටියේය. එහෙත් බොරු කියමින් තම මව කරන කතා පිළිබඳව හදිසියේම ඔහුට ලැජ්ජාවක් ඇතිවිය. අමුත්තිය ඉදිරියේ ඇය ව හෙළිදරව් කිරීමට ඔහුට අවශ්‍ය විය.
”වේලායුදන්, වහාම උඹගෙ කාමරයට පලයන්” ඔහුව පසෙකට තල්ලු කරමින් ඔහුගේ මව කෑගෑවාය. “පොලිස් ජීප් එක එනවා. මට ඒකෙ සද්දෙත් ඇහෙනවා”
වේලායුදන් කාමරයෙන් පිටතට බඩගා යමින් හතිදමමින් පිය ගැට නැග්ගේය. කුඩා කාමරය තුළදී තමා ආරක්ෂිත බව ඔහුට හැඟිණ. ඔහුගේ කන්වල ලේ පිරී ඇත. ඔහු තම දෑතින්ම ඇස් වසාගත්තේය. “නැහැ මම ඇයව මැරුවෙ නැහැ” හෙතෙම කෑගෑවේය. “ඇයට කෙසෙල් ලෙල්ලක් පෑගිලා පඩිපෙලෙන් පහළට වැටුණා. මම ඇයව මැරුවෙ නැහැ. ඇය වැටෙනවා බලා හිටිය විතරයි”
විසිත්ත කාමරයේ අසුන්ගෙන සිටි අමුත්තියට ද ඔහුගේ කෑගැසීම ඇසුන බැවින් ඇය අසනහයට පත්වූවාය. “මම යන්න ඕනෙ” ඇය පැවසුවාය. “ඔයා කොටස් විකුණන්නෙ නැත්නම් මම මගෙ කාලෙ නාස්ති කරන්නෙ ඇයි?”
”ඔයා තේරුම් ගන්න උත්සාහ කරන්න” මැහැල්ල කීවාය.
”ඒ කොටස් මගෙ සැමියා මිලට ගත් ඒවා. ඔහුට අයිති දේවල් විකුණන්න බැහැ."
"ඔහුට අවශ්‍ය වුණේ වේලායුදන්ව හෝ වෙනූව සමාගමේ අධ්‍යක්ෂවරයෙක් කරන්න. අවාසනාවකට වගෙ වෙනූ පාසල් බස්රියට යටවෙලා පොඩි පට්ටම්වුණා. ඔහුට දැන් කවදාවත් සමාගමේ අධ්‍යක්ෂවරයෙක් වෙන්න බැහැ."
"එතකොට වේලායුදන් දැනට එයාට සනීප නැහැ. බාගෙවිට එයාට හොඳ වුණොත් එයා සමාගමේ අධ්‍යක්ෂවරයෙක් වේවි. මම හිතනවා ඔයාට වැටහෙනවා කියලා”
”මට තේරුණා”අමුත්තිය මෘදු ලෙස පැවසුවාය. උඩු මහලේ කාමරය දෙසින් වේලායුදන්ගේ කෑගැසීම නැවතත් ඇසිණ. “මම ඇයට මැරුවෙ නැහැ”
අමුත්තිය තම මරුති රථයට ගොඩවනවිට මැහැල්ල ඒ අසලට ගියාය.
”ඇත්තටම ඔයාගෙ ඉල්ලීම නරක නැහැ. ලක්ෂ දෙකක් කියන්නෙ සල්ලි ගොඩක්. ඒත් මගෙ පුතාට සනීපවුණාම එයාට සමාගමේ අධ්‍යක්ෂවරයෙක් වෙන්න කොටස් ඕනෑකරාවි.”
මෝටර් රිය පණගන්වමින් අමුත්තිය හිස සැලුවාය. “ඔව් ඔහු අධ්‍යක්ෂවරයෙක් වේවි” ඇය කීවාය. “ඇයි නැත්තෙ?”
https://archives.silumina.lk/punkalasa/20120916/_art.asp?fn=ar1209163
"අම්මප, මුන්ට මොන යකෙක් ගහල ද මන්දා. මොන ලෝකෙක ද මුං ඉන්නෙ?"
තාත්තා දෙස් දෙවොල් තියන්නේ වා මඬලට ය. එහෙත් එහි ඉලක්කගත කුඩා කණ්ඩායම වන්නේ පසන්, තුමිදු හා විදර්ශන යන මගේ පුතුන් තිදෙනායි.
පසන් පෙනෙන්නට නැත. විදර්ශන ඉන්නේ ලැප්ටොප් තිරයට ඔරවාගෙන ය. ඒ රැවුම මගේ සිතට මිස ඇසට නො පෙනෙයි. මා දකින්නේ මට පිටු පා සිටින විදර්ශනගේ අමුතු තාලයකට හරිගස්සා ගත් විසුළු කොණ්ඩය පමණි. සීයා දෙසට නො පහන් අඩ බැල්මක් හෙළන තුමිදු විදර්ශනගේ කනට කට ළං කරයි. තුමිදු කියන දේ මට ඇසෙන්නේ නැත. එහෙත් මට එය උපකල්පනය කිරීමට පුළුවන.
”ගණං ගන්න එපා අය්යෙ. මැන්ටල් නෙ?”
ජනේලය ළඟට යන මම වීදුරු පියන්පතක් විවර කරමි. වයිටා දිවැවිත් මගේ දෙපා මත දිග ඇදෙයි. මා ගෙදර සිටින හැම විටම මේ සුනඛයා කොතෙකුත් මා පසු පස ඇදී එන්නේ මගේ සෙවණැල්ල මෙනි. මම ඌ දෝතින් ගෙන ජනෙල් පඩිය මත හොවා අවට බලන්නට ඌට ද ඉඩක් විවර කරමි. පාළු මාවත කාන්තාරයක හිස් බවක් මගේ සිතට දනවයි. මහල් නිවාස පද්ධතියේ බිම්මහලේ වන සියලු කඩසාප්පු, අවන්හල් වසා දමා ඇති නිසා පරිසරය ඉහවහා යමින් ඇත්තේ ආගන්තුක නිහඬතාවකි.
විදර්ශන වඩාත් අසහනයට පත් ව සිටින්නේ බඩගින්න නිසා ය. ඔහු වෙනදාට ඉල්ලන ඉඳිආප්ප, කොත්තු, ලම්ප් රයිස්, ෆ‍්‍රයිඩ් රයිස් හෝ පිට්සා වැනි කඩකෑම අද නැත. ඒ සියල්ල අම්මා අතින් කවරාකාරයෙන් පිළියෙල වුව ද ඔහු ඒවා අල්ලන්නේ ද නැත.
”ගේම්ස් කියයි. බිග් මැච් කියයි. ඔය ඔල්මාදවලට ඇරුණ ම වෙන මොනවට ද මුං ආස කරන්නෙ?”
එවර නම් තාත්තා මතු කළේ සාධාරණ ප්‍රශ්නයකි යි මට සිතෙයි. මේ දරුවන් ආසා කරන්නේ මොනවාට දැයි සිතාගැනීමට මට ද පහසු නැත. ඔවුන් ප්‍රමෝදයට පත් කළ හැක්කේ කුමකින් දැයි අප කිසිවකුට නො හැඟෙයි.
තාත්තා කෝප වී සිටින්නේ දරුවන් තිදෙනා ම එක පැහැර ප්‍රතික්ෂේප කළ කරුණක් අරබයා ය. කාරණය නම් අවුරුද්දට නෑ ගමන් යාමයි. නෑදෑ ගෙදරක, කෙසේ වෙතත් මඟුල් ගෙදරක, පිරිත් ගෙදරක යන්නට පවා ඔවුහු අදිමදි කරති. තරුපහේ හෝටලයක පැවැත්වෙන කිට්ටු ම ඥාතියකුගේ මංගල සාදයකට වුව අප ඔවුන් රැගෙන යන්නේ කැඳවාගෙන නො ව දක්කාගෙන ය.
මම මොහොතකට මගේ ළමා විය කරා පසුගමන් යමි. එකල මා අම්මාටත් තාත්තාටත් කනිපින්දම් කියන්නේ ඔවුන් යන ගමන් බිමන්වලට මා ද එක්කර ගන්නා ලෙස ය. අවුරුදු නෑගම් යන්නට, වෙසක් බලන්න යන්නට ඇතැම් විට මා අවස්ථාව පාදාගෙන ඇත්තේ හඬමින්, වැළපෙමින් හා පොළොවේ හැපෙමිනි. අවුරුද්දට කැවුම් පිසින අයුරු, කැවුම් කොණ්ඩය ඉහළට එසවී එන අයුරු නැරඹීමෙන් පවා මගේ ළමා සිත ලැබූ ආස්වාදය මට සිහි වෙයි. වෙසක් කූඩු තැනීමෙන්, එළිය පෙට්ටි කොළ ඇලවීමෙන්, සල් උයන් හැදීමෙන් ලැබූ වින්දනය ඊට ද වඩා තීව්‍ර ය. මේ වින්දන අවකාශයට කණ කොකා හැඬූයේ කවදා සිට ද? මේවායින් අප එදා සන්තෝෂයට පත් වූයේ, වින්දනයක් ලැබුවේ ආස්වාදනීය අවස්ථා විරළ වූ හෙයින් ද? අසීමිත වූ වින්දනීය අවස්ථා අතරේ සුපිරි තාක්ෂණික මෙවලම් හමුවේ සිත හා සිතුවිලි නිදි ගැන්වී ඇත්තේ ද?
”මේව උඹලගෙ වැරදි මේවට වගකියන්න ඕන උඹලා. නිකං බොරුවට නවකතා පොත් ලිව්වයි කියල පලක් නෑ. තමුන්ගේ දරුවො හදාගන්න ඕන ඉස්සෙල්ලා.”
මා වයිටා බිම හෙළන්නේ සිතේ අසහනය නිසා ය. ඕනෑ ම කුණු ගොඩක් බේරුවල් බොක්කට කීවාක් මෙන් එවර තාත්තාගේ ඉලක්කය වී ඇත්තේ මා ය. තාත්තාගේ ඒ ඇනුම්පදය කාවැදුණේ මට රිදෙන තැනටම ය. දවසේ පුවත්පත ගෙන හාන්සි පුටුවේ දිග ඇදෙන මම පත්තර පිටුවකින් මුහුණ වසා ගනිමි. පත්තරයෙන් මගේ මොළය අවශෝෂණය කරගන්නා මෙලෝ දෙයක් නැත. අලි මිනිස් ගැටුමට ද වැඩියෙන් උග්‍රවෙමින් ඇති මේ පරම්පරා ගැටුම හේතුවෙන් වඩාත් පීඩාවට පත්වන්නේ එහි අතරමැදියන් වන අප ම නො වේ දැයි මට සිතේ. සැබැවින් ම මේ ගැටුම් සහගත තත්ත්වයට වග කිව යුත්තේ වැඩිහිටියන් වන අප ම නො වේ දැයි මට සිතේ.
සැබැවින් ම මේ ගැටුම් සහගත තත්ත්වයට වග කිවයුත්තේ වැඩිහිටියන් වන අප ද? නැතහොත් අතිධාවනකාරී, තරගකාරී තාක්ෂණික ලොවකට උත්පාදනය වූ නූතන දරුවන් ද? වරද කාගේ වුවත් එක ම දෙයක් නම් සිදු වී තිබේ. ඒ සතුට, ආස්වාදය ප්‍රීතිප්‍රමෝදය සිත්වලින් පිටමං වීමයි. වල්වැදීමයි.
”දන්නව ද වැඩක්?”
මා පත්තරය පහත හෙළන්නේ තාත්තාගේ ඒ ප්‍රශ්නය සෘජු ව මා වෙත යොමු කෙරුණක් වූ නිසා ය.
”ඉස්කෝලෙදි මේ පොඩි එකාගෙං මයුරි මිස් අහල තියෙනවනෙ කොහා සාමාන්‍යයෙන් ඉන්නෙ කොහෙද කියල”
”ඉතිං?”
”ඉතිං ඌ කියල තියෙන්නේ රූපවාහිනියෙ කියලයි. මයුරි මිස්ගෙ මාමා මං එක්ක කිය කියා හිනාවුණා”
තාත්තාගේ කෝප සහගත සිනාවට එක් වීම මට අසීරු වන්නේ කුඩා පසන්ගේ ඒ පිළිතුර හාස්‍යජනක යැයි මට නො සිතෙන නිසා ය. දූවිලි නගරයේ වාළුකාවක හිර වූ තට්ටු නිවාස සංකීර්ණයක උපන්, ජීවත් වූ සත් හැවිරිදි දරුවකුට මෙවැනි ප්‍රශ්නවලට පිළිතුරු සැපයිය හැකි වන්නේ දිවැස් බැලීමෙනි. උපන් දා සිට ම පසන් කොවුල් හඬ අසන්නේ රූපවාහිනියෙන් මිස ගස් මුදුනකින්, තුරුවදුළකින් නම් නො වේ.
”බන්ධුලයගෙ ගෙදර යන්න අඬ ගැහුව ම කිව්ව පාඩම් කරන්න තියෙනවයි කියල. පේනව නේ කරන පාඩම? කට ඇරියොත් කියන්නෙ ගල් පැලෙන බොරු. දරුවන්ට කියාදීපල්ල අඩුගානෙ බොරු නො කියා ඉන්නවත්”
තාත්තාගේ දෝෂාරෝපණයට නැවතීමේ තිතක් කෙසේ වෙතත් විරාමයක් ද නැත. දැන් දැන් මගේ ද ඉවසීමේ සීමාව ඉක්ම යමින් තිබේ. බොරු බේගල් ඇදබාන්නැයි අප දරුවන්ට කියා දී නැති බව හඬනඟා කියන්නට මගේ කට කොකියයි. කරදඬු උස්මහත් වුණ දරුවන් අවවාද නුරුස්සන බව වැඩිහිටියන්ට වැටහෙන්නේ නැත. එහෙත් බොරු කීමේ ආදීනව විදහා දක්වන, බෞද්ධ සාහිත්‍යයේ එන ඇතැම් කතා පුවත් කුඩා කාලයේ දී ශ්‍යාමා දරුවන්ට කියා දෙනු මගේ කනට ඇසී තිබේ. ඒවා තාත්තාට නෑසී යන්නට කිසිදු හේතුවක් නැත.
ඉබාගාතේ යන මගේ සිතුවිලි හදිසියේ ම නැංගුරම් ලූ අයුරක් නැඟෙයි. බොරු නො කියන්නැයි දරුවනට වචනයෙන් අවවාද දෙන අප ආදර්ශයෙන් ඔවුනට එය පෙන්වා දී තිබේ ද? අප කොතෙක් දුරට සත්‍යවාදී ව ඇත්තේද? හිඟන්නන්ට, පින් පත්තරකාරයන්ට, අසල්වැසියන්ට මෙන් ම දුරකථන ඇමතුම්වලට ද බොහෝ විට අප ප්‍රතිචාර දක්වන්නේ අමූලික මුසාවාදවලිනි. හැම විට ම ඊට හේතු වන්නේ අනුන් වෙනුවෙන් කාලය වැය කිරීමට අපට කාලයක් නො වීමයි. කාලයට ද මිලක් නියම වී තිබීමයි. එහෙත් ඒවා දරුවෝ ශ්‍රවණය නො කරත් ද? සුපිරි පාසල්වල දොරටු දරුවන් වෙනුවෙන් විවර කර ගැනීම සඳහා අප කළ කී බොරු හා දරුවනට කටපාඩම් කරවූ අමන මුසාවාද සම්භාරය ඔවුනට සහමුලින් ම අමතක විය හැකි ද?
”මේ චුට්ටක් මෙහාට එනව ද?”
ශ්‍යාමාගේ ඇමතුම මට මහත් අස්වැසිල්ලක් ගෙන දෙන්නේ අතීත මතකයේ විළිබිය තුනී කිරීමට එය අවකාශයක් විවර කරන නිසා ය. අඩියට දෙකට මා පැන්ට්‍රිය කරා ඇදෙන්නේ තාත්තාගේ කන්දොස්කිරියාවෙන් ද ගැලවෙන්නට ය. සුපිරි වෙළෙඳ සලකින් මිලට ගත් කොණ්ඩ කැවුමක් දෙකට කඩන ශ්‍යාමා එහි මදය ඉව කරමින් එය මගේ නැහැයට ද ළං කරයි.
”පොඩ්ඩක් බලන්න අනේ පුස්ගඳක් එනව ද කියලා?”
මගේ නාස්පුඩු ඝන වී එකට ඇලී ඇත්තාක් මෙන් හැඟුණ ද මට හෙම්බිරිස්සාව වැලඳී නැත. එහෙත් කවර වූ හෝ හේතුවක් නිසා මගේ නාසය හිර වී තිබේ. ඊට මුල් වූයේ තාත්තා දරුවන්ට දොස් පැවරීම යැයි කිසිසේත් මම නොසිතමි. කාලයක් තිස්සේ සිතට වධ දෙමින් තිබූ අදහසක්, අදහස් සමුදායක් තාත්තා දැල් වූ ආලෝකයකින් හදිසියේ එළිය කෙරුණා විය හැකියි.
”මුං සන්තෝස වෙන්නෙ මොනවයින් ද මන්දා”
මේ අවධාරණය ඔස්සේ මගේ සිතුවිලි යළිත් වරක් මුල පුරන්නේ දිගු ගමනකට ය. දාහත් වන සියවසේ විසූ මිනිසුන් ජීවිත කාලයක් මුළුල්ලේ එක්රැස් කරගත් දැනුම් සම්භාරයක් විසිඑක්වන සියවසේ වෙසෙන්නන් එක දිනකින් ග්‍රහණය කරගන්නා බවට පාරම්බෑ මාධ්‍ය අඬහැරයක් කවදා කොහේදි හෝ මා ඇසු බව මට සිහිවේ. භෞතික ලෝකය විවෘත වන, ප්‍රසාරණය වන තරමට මිනිසුන් හැකිළ යන්නේ දැයි සැකසංකාවක් මා තුළ නැඟෙයි. මේ එක්රැස් කිරීම් සඳහා ඉඩකඩ, නේවාසික පහසුකම් සලසා දෙනු පිණිස මිනිසාගේ සිතින් ඉවත් ව යන්නේ සතුට හා සාමය විය හැකි ද?
”මොක ද? එනව ද පුස් ගඳක්?”
මඳ තිගැස්මක් ද සමඟින් මම ප්‍රකෘතියට පිවිසෙමි. කැවුමේ ප්‍රමිතිය පිළිබඳ ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් ශ්‍යාමා තවමත් මා දෙස බලා සිටී.
”වැරැද්දක් නෑ. හොඳයි.”
හොඳ නරක පිළිබඳ සීමා ඉර මැකී යමින් ඇත්තාක් මෙනි, මොහොතකට මට හැඟෙන්නේ. මා රහසින් බිම හෙළන පුස් කැවුමේ වාටිය ඉව කරන මුත් වයිටා එය කටට ගන්නේ නැත. ගෙතුළ වාතය ඝන වී හුස්ම ගැනීමේ අපහසුවක් ඇති වුණාක් මෙන් මට හැඟෙයි.
පැන්ට්‍රියේ වන කුඩා ස්ටූලයකට මා බර දෙන්නේ අවිනිශ්චිත විඩාව නිසා ය. ධාවන පථයක් ඔස්සේ හැල්මේ දිව ගොස් දිනුම් කණුව ළඟදී ක්ලාන්ත වන ක්‍රීඩකයකුගේ වැනි කායික, මානසික වෙහෙසක් මට දැනෙයි. එක දිගට රිය පදවමින්, ලිපිගොනුවල ඒකාකාරී සටහන් තබමින්, වාහන තදබදය අතරේ තෙරපෙමින් අවුරුද්දක් තිස්සේ කළ හෙයියම්මාරුවකින් අනතුරුව උදා වන දීර්ඝ අවුරුදු නිවාඩුව විවේකයට වඩා සිතට දනවන්නේ අවිවේකයකි.
”මොකද අනේ අර තාත්තට වෙලා තියෙන්නෙ? ඔය දරුවන්ට ඔහොම කෑගහල හරියනවද?”
ශ්‍යාමාගේ ප්‍රශ්නයේ අරමුණ පැහැදිලි ය. මාමණ්ඩිය පිළිබඳ අප්‍රසාදය පළ කිරීමට ලැබුණ අවස්ථාව අපතේ හැරීමට ශ්‍යාමා සූදානම් නැත. එහෙත් දරුවන් පිළිබඳ තාත්තාගේ මතය ප්‍රතික්ෂේප කිරීමට ඇය යොමු නොවන බව මම ඉන්තේරුවෙන් ම දනිමි. මා එය සාක්ෂාත් කර ඇත්තේ කොතෙකුත් ඇය පවසන ආඩපාලි නිසා ම ය.
”හනේ මේ දරුවන්ට කියල හදිස්සියකට වත් ගෙදරට බඩුවක්, මුට්ටුවක් ගෙන්න ගන්න පුළුවනැයි? ඒ ඕන නෑ. කලාතුරකින් ලොකු ම වුවමනාවකට හරි මං රෑපානෙ දොට්ට බැස්සත් එක්කෙනෙක් එනවැයි මගේ තනි නොතනියට?”
අපේ දරුවන් දඩබ්බර වී, අකාරුණි වී ඇද්දැයි මම සිතා බලමි. එහෙත් මීට ද වැඩියෙන් සිත් කම්පා කරවනසුලු අත්දැකීම් ඇති මවුපියන් හිසේ කෙස් ගාණට ම මට හමු වී තිබේ. මගේ කාර්යාල සගයා, ධනුෂ්කට මේ කරුණ සම්බන්ධයෙන් ඇත්තේ අමුතුම තාලේ අදහසකි.
”මේ කාලෙ ඕන ම අම්මෙක්ට තාත්තෙක්ට දරුවන්ගෙන් සංතෝස වෙන්න පුළුවං වෙන්නෙ පුංචි ම කාලෙදි විතරයි”
මේ ප්‍රකාශය සාහසික වැඩි දැයි මට සිතෙන්නේ අප නොදුටු, අපට හමු නො වූ එවැනි දරුවන්, මවුපියන් ලෝකයේ කවර දිග්බාගයක හෝ නැත්තේ ම යැයි ඉඳුරා පැවසිය නො හැකි නිසා ය.
මා සොරකු මෙන් පැන්ට්‍රියෙන් පිට වන්නේ ශ්‍යාමා වියළි කැවුම් ප්ලාස්ටික් භාජනයක අසුරමින් සිටින අතරේ ය. ගෑස් ලිප අසල හතරගාතයෙන් දපා තද නින්දක ගැලී සිටි වයිටාට මගේ බළල් අඩි පවා සංවේදී වූ අයුරකි. ඌ මා ලුහුබඳිමින් පැමිණ මා පසුකර දිව යන්නේ මා පැමිණෙන්නේ දැයි යළි යළිත් පසු හැරී බලමිනි. මා දරුවන්ගේ කාමරයට වදින්නේ බොහෝ වේලාවකින් නො දුටු පසන් සොයා ය. අන්තර්ජාලය සිසාරමින් සිටින පසන්ගේ උරය මත අතක් තබන මම ඔහුගේ ප්‍රතිචාරය අපේක්ෂාවෙන් නිහඬ ව සිටිමි.
මගේ හස්තස්පර්ශය නො හැඟුණ ආකාරයෙන් පසන් සිය කාර්යයෙහි නිරතව සිටියි. ඔහු මා දෙස අඩබැල්මකුදු නො හෙළයි. පසු හැරෙන මම තුමිදු සොයා යමි.
රූපවාහිනිය ඉදිරියේ සැටිය මත බෑවී සිටින ඔහු චැනල මාරු කරන්නේ හිටු කියා ය. තුමිදුගේ මේ පුරුද්දේ අක්මුල් ඇත්තේ කොතැක ද කියා හෝ ඊට පසුබිම් ව ඇත්තේ අතෘප්තිකර මනෝභාවයක් ද කියා හෝ මට ඉඳුරා පැවසිය හැකි නැත.
මගේ කුඩා මේසය වෙත යන මම බෝල්පොයින්ට් පෑනේ තුඩ සුදු කඩදාසිය මත තබමි. කඩදාසියෙහි සටහන් වන්නේ කවදා හෝ මගේ ලේඛනයක්, නිර්මාණයක් සඳහා උපයෝගී වනු ඇතැ යි ක්ෂණිකව මට හැඟී ගිය සටහනකි.
දරුවන් අපට ප්‍රදානය නො කරන්නේ ඔවුන් බුක්ති විඳිමින් සිටින සතුටක් ද? නැත. ඔවුහු ද අතෘප්තියෙන්, අසහනයෙන් ආතුර ව සිටිති. අනෙකෙකුට සතුට ගෙන දිය හැකි වන්නේ සතුට අත්පත් කරගෙන සිටින තැනැත්තාටයි. තමන් ළඟ නැති සතුටක් අනෙකකුට ප්‍රදානය කළ හැකි ජගතෙක් මිහිපිට නැත.
මේ සතුට මිනිසාට අහිමි කරනු ලැබුවේ කවුරුන් විසින් ද? එවැන්නෙක් සිටී ද? සැබැවින් ම මිනිසාට සතුට අහිමි කළ කිසිවෙක් හෝ කිසිවක් නැත. බොහෝ දේ (භෞතික වස්තූන්) හිමි වන තරමට මිනිසාට අහිමි වන දෙයක් ඇත්නම් ඒ සතුටයි. මිනිසා ආදරය කරන්නේ නම් ඒ ආදරය පෙරළා ලබාගැනීමට, අන්‍යොන්‍ය වශයෙන් බෙදා හදා ගැනීමට ඔහු කැමැත්තේ නම් ඔහු විසින් අනිවාර්යෙන් ම ළං කර ගත යුතු වන්නේ මනුෂ්‍ය දරුවන් නො ව තිරිසන් සත්වයන් ය. මිනිස් සිරුරේ උණුසුම, ඒ ස්පර්ශය වැඩි වශයෙන් ම ප්‍රිය කරන සත්වයා නම් බල්ලායි.
https://archives.silumina.lk/punkalasa/20120408/_art.asp?fn=ar1204083
ටොන්ගා රථ රියැදුරකුවූ බාරූ හිමිදිරියේම අවදිව අශ්වයන්ව තම රථයේ ගැටගසාගෙන දුම්රිය පොළ අසළ පිහිටි ටොන්ගා රථ නැවතුම්පොළ වෙත පැමිණියේය.
කාන්නාවලට යන්න කවුරුවත් ඉන්නවද?” හේ කෑගැසුවේය.
”කාන්නා...”
ශීත ඍතුවේ හිමිදිරි පාන්දර මගියකු සොයා ගැනීමට ඇති ඉඩකඩ ඉතා අඩු බව බාරූ දැන සිටියේය. එහෙත් හේ කිසිවිටක පසුබට නොවීය. මීදුමින් පිරි ශීත ඍතුවේ උදෑසනක් වුවත්, ඔහුගේ සිරුර ශීතලෙන් වෙව්ලුවත් මුලින්ම ටොන්ගා නැවතුම්පළට පැමිණීම ඔහුගේ අපේක්‍ෂාව විය.
ඔහුගේ අශ්වයා අසහනයේ සලකුණු පළ කළේය. කීපවරක්ම හේශාරාවය කළ අශ්වයා වලිගය වේගයෙන් වනමින් පියවර තුනක්ම ඉදිරියට තැබුවේය. “ඉවසපන් පුතේ ඉවසපන්. තව වැඩි වෙලාවක් යන එකක් නැහැ. සාක්කුව පිරුණු ඒත් මොළයක් නැති කෙනෙකු එනකම් ඉඳල එයත් එක්ක යමු” බාරු වහා ඉදිරියට පැන තෝන් ලණුව තද කළේය.
හිරු නැග එන්නට විය. එහෙත් කාන්නා බලා යන එකද මගියෙකුවත් නැත. තවත් ටොන්ගා රථ, නැවතුම් පොළ වෙත පැමිණියේය. පාරෙන් එහා පැත්තේ සිටි කුන්ඩන් ද කාන්නා බලා යන මගීන් කැඳවමින් කෑගෑවේය. හොඳින් හැඳ පැලඳ බෑගයකුත් අතින් ගෙන කඩවීදිය දිගේ පැමිණෙන්නකු බාරූ ගේ නෙත ගැටිණ. බාරූගේ උකුසු ඇස් ඔහුගේ හැසිරීම් රටාව දෙස බලා සිටියේය. ඒ තැනැත්තා ටොන්ගා නැවතුම් පොළට පැමිණි නමුත් ඔහුගේ ගමන් ඉසව්ව පිළිබඳ කිසිදු ඉඟියක් පළ නොවීය. ටොන්ගා රියැදුරෝ කෑගසන්නට පටන් ගත්හ.
”සිරහින්ද්වලට යන කෙනෙක් ඉන්නව නම් එන්න. මල්හෝවලට යන කෙනෙක් ඉන්නවද?” එහෙත් ඒ තැනැත්තාගෙන් තම ගමනාන්තය පිළිබඳ කිසිදු සලකුණක් පළ නොවීය. කාන්නා යනුවෙන් බාරූ කෑගැසුවත් ඔහු හිස ඔසවා නොබැලුවේය. “මේ අමුතු තාලෙ මහත්තයෙක්” බාරූ තමාටම මුමුණා ගත්තේය. “ඒ අය කවදාවත් කට අරින්න ඉක්මන් වෙන්නෙ නැහැ” බාරූගේ ටොන්ගා රථය අසළට පැමිණ නතරවූ ඒ තැනැත්තා ඇසෙන නොඇසෙන හඬින් විමසීමක් කළේය. “තව මගීන් නැද්ද?”
ඒ තැනැත්තාගේ බෑගය ගැනීමට බිමට පැන්න බාරූ ආචාරශීලී ලෙස කතා කළේය. “සෑර් ඉස්සරහ ආසනෙන් වාඩිවෙන්න. අපි ටක්ගාලා යනවා තව එක මගියෙක් විතරක් අරගෙන.”
ඔහු ටොන්ගාව ඉදිරියට ගොස් එහි පා තබන ස්ථානයේ නතරවිය.
බාරූ හැකිතාක් ශබ්ද නගා තවත් මගියෙකුගේ පැමිණීම අපේක්‍ෂා කළේය. තවත් එක් මගියෙක් පමණක් -
ඒ තැනැත්තා තම ගමන් බෑගය ටොන්ගාවේ අසුනක් මත තබා දෙඅත් සාක්කුවේ දමාගෙන අවට බැලුවේය. බාරූ අශ්වයාට තට්ටුවක් දමා රථයේ අසුන් නැවත සකස් කළේය.
සයිකල් රික්සොවක් පැමිණ ටොන්ගාව අසල නතර කළේය. රික්ෂෝකරුවා බාරූගේ මගින්ට ආයාචනා කරන්නට විය. බාරූගේ හදවත කිඳා බැස්සේය. “බාබුජි සුළඟ හරි සැරයි” සයිකල් රික්ෂෝකරු ජයග්‍රහණය කළේය. බාරූගේ මගියකුව කොල්ලකාගෙන යන්නට පිටත්විය.
අද දවස අසුබ දවසක් ලෙස පෙනේ. කාන්නා බලා යන මගියකුගෙන් අයකර ගන්න ගාස්තුව ඇනා හතරකි. ඇනා හයකට වඩා ලබාගැනීම නීතියෙන් තහනම් කර ඇත. ඔහුට එක්වරක් හෝ මගීන් පුරවා ගත හැකිනම් රුපියල් එකහමාරක් ලබා ගත හැකිය... අශ්වයාගේ කෑමට දිනකට රුපියල් තුනක් වියදම් වෙයි. ඔහු පදික වේදිකාවේ රස්තියාදු වෙමින් සිටින්නේ ඇයි? හේ ටොන්ගාවට නැග එහි පසුපස අසුනේ දිග ඇදුණේය. ගමන් යාමට පැමිණි මගීන් අතරින් දැනටමත් එක් අයෙක් නැත.
කුඹුරු යාය මැදින් වැටී ඇති නියර දිගේ පැමිණෙන ගොවීන් පිරිසකගේ දර්ශනය ඔහුට එකවරම දක්නට ලැබිණ. ඉදිරියෙන් පැමිණියේ සුදු සහ කළු සළුවලින් හිස වසාගෙන සිටි ගැමියන් පිරිසකි. ඔවුන් උසාවි යන පිරිසක් වන්නට ඇත. බාරු තම ටොන්ගා රථය ඒ පැත්තට හරවා කෑගෑවේය. “කාන්නාවලට යනවද චෞද්රි? අපි යන පාර තමයි තියෙන්නේ”
ගොවීහු එකිනෙකාගේ මුහුණු බලාගත්හ. එක් අයෙක් පිළිතුරු දුන්නේය. “අපි කාන්නාවලට යන්නයි සූදානම. ඒත් අපි යන්නෙ දැන්මම පිටත්වෙනව නම් විතරයි”
”සහතිකවම” බාරු සහතික විය. “ඔහෙලා වාඩිවෙච්ච ගමන්ම අපි පිටත්වෙනවා” බාරූ තෝන් ලණුව අල්ලාගෙන ටොන්ගාව හැරවූවේය.
”අපිට ටෙසිල්හදාර් උසාවියට යන්න තියෙනවා. අපිට සම්රලාවලත් පැමිණිල්ලක් තියෙනවා”
”ටොන්ගාවට නගින්න. මම ඔහෙලව ඉක්මනටම එහෙට ගිහින් දාන්නම්.” මිනිස්සු අසුන් ගත්හ. බාරූ ටොන්ගා නැවතුම් පොළ දෙසට හැරී තවත් එක්කෙනකුට ඉඩ තියෙනවා” යනුවෙන් කෑගැසුවේය.
ටොන්ගා නැවතුම් පළේ සිට කඩවීදිය දෙසට බාරූ ටොන්ගාව රැගෙන ගියේය. ඔහු රියේ බෝන් ලීය මත වාඩිවී යළි කෑගසන්නට විය. කවුරුවත් ඉන්නවද කාන්නාවලට යන. තව එක ආසනයක් තියෙනවා.”
”අතරමගදි තව තනි මගියෙක් හොරකම් කරගන්නද ඔහෙට ඕනෙ?” පදික වේදිකාවේ සිටි කෙනෙක් කෑගැසුවේය. මිනිස්සු සිනාසෙන්නට පටන් ගත්හ. බාරූ තම විදුරු මස් පෙනෙන්නට විරිත්තුවේය. ඔහුත් සිනාවට එක්වූ අතර තවත් කෙනෙකුට ඉඩ තියෙනවා යනුවෙන් කියමින් කෑගැසීම නතර නොකළේය. ඔහු කාන්නා දෙසට හරවාගත් ටොන්ගා රථය පාර අයිනේ නවතා නැවතත් පදික වෙළෙන්දාට එක්විය.
”එයත් අනිත් ටොන්ගා රියැදුරෝ වගේමයි” එක් මගියෙක් පැමිණිලි කළේය.
”ටොන්ගාවාලා සහෝදරයා, ඇයි ඔහෙ අපට හිරිහැර කරන්නෙ?" තවෙකෙක් පැවසුවේය.
”අපි ප්‍රමාදවෙන්නෙ නැහැ චෞද්රි. තව එක මගියෙක් විතරයි කෙනෙක් ආවොත් හුඟක් හොඳයි. මගියෙක් හිටියත් නැතත් අපි පිටත්වෙලා යමු.”
බාරූගේ මගීන්ගේ නොසන්සුන්කම සහ නොඉවසිලිමත් බව කුන්ඩන්ට වැටහිණ. හේ තම ටොන්ගාව බාරූගේ ටොන්ගාව අසලට ළං කළේය. “මට පුළුවන් ඔහෙගෙ මගීන්ව කාන්නාවලට ගෙනියන්න.
”නවත්තපන් කරණවෑමියාගෙ පුතා. නවත්තපන් උඹගෙ තක්කඩි වැඩේ.”
බාරූ, කුන්ඩන් දෙස රවා බැලුවේය. කාන්තාවන් රංචුවක් පැමිණෙනු ඔහුට දක්නට ලැබිණ. “අපි දැන් යනවා සර්දාර් ජීත දැන් ඔය මගීන් රංචුවක්ම එන්නෙ.”
ගැමියෝද කාන්තා පිරිස දුටු බැවින් තව මඳ වෙලාවක් ඉවසා සිටීමට තීරණය කළහ.
බාරූ කණ්ඩායම ඉදිරියට ගොස් මවක තම පුතුන් අමතන්නාක් මෙන් සාදරයෙන් ඔවුන්ව ඇමතුවේය.
”මායිජී අපි ඔබ එනකම් හිටියෙ. එන්න කාන්නාවලට යන්න”
”නැහැ සහෝදරයා අපි කාලි දෙවගනගේ කෝවිලට යන ගමන්” කාන්තාවක් සරල ලෙස පිළිතුරු දුන්නාය.
”ඇත්තටම ඔව්” බිඳුණු හඬින් බාරූ පැවසුවේය.
”අපි දැන් පිටත්වෙනවද?” ඔහුගේ කණ්ඩායමේ කෙනෙක් මැසිවිලි නැගුවේය.
”කොයිතරම් නොඉවසිලිමත් මගීන් පිරිසක්ද මේ?”
බාරූගේ සියලු උපාය මාර්ග අවසන්වී ඇත. හේ අවංකවම කතා කළේය. “තව වැඩි වෙලාවක් යන්නෙ නැහැ. තව මගියෙක් එනකම් පොඩ්ඩක් ඉන්න. ගමනින් මට ප්‍රයෝජනයක් වෙන්නෙ එතකොට.”
”ඔහෙ ඔහෙට ගණන් බලබලා ඉන්නකොට අපේ නඩුව අහකට දමාවි”
කුන්ඩන් නැවතත් පෙනී සිටියේය. “සමහර මිනිස්සු නම් සාමාන්‍යයි. ඒ අය උගුල්වලට අහුවෙනවා, මේ මිනිහා ගමන යන්න පටන් ගන්නෙ නැහැ, එහෙම ගියත් එහාටම එක්ක යන්නෙ නැහැ, ඔය අය අමාරුවෙ වැටෙන වැඩක්. එයාගෙ අශ්වයා අකීකරු සතෙක්.”
බාරූ මුහුණ අඳුරු කර ගත්තේය. කුන්ඩන් සමඟ කතා කරනවිට කෝපය පාලනය කර ගැනීමට හේ උත්සාහ කළේය. “කරණවෑමියගෙ පුතා උඹ කලබල කරන්නෙ උඹගෙ මාරයා අතවනන හින්දද? උඹ ගිහින් උඹගෙ අම්මට කියල වාහනේ රෝදවලට තෙල් දාගනින්. ඒකෙ හැම පුරුකක්ම කරකර ගානවා උඹ බලු පැටියෙක් වගෙ කාලෙ නාස්ති කරන්න එපා.”
බාරූගේ මගීන්ට ඔහුව එපාවී තිබිණ. තමන් හා බාරූ අතර කිසිම ආකාරයක බැඳීමක් නැති බව ඔවුනට හැඟිණ. ඔව්හු රියෙන් බැස ගත්හ.
බාරූ තවතවත් කුණුහරුපයෙන් බැනවදිමින් තම කසය වැනුවේය. “මම මගෙ ටොන්ගාවෙ රෝද අස්සෙන් උඹගෙ ඔළුව යවනවා.”
කුන්ඩන් තමාට බැණ වදිනු ඇතැයි අපේක්‍ෂාවෙන් බාරූ බලා සිටියේය. එසේ බැණ වැදුණ විට ඔහුට පහර දිය හැකිය.
"මගෙත් එක්ක කේන්ති ගන්න මම උඹට මොනවද කිව්වෙ?” තරමක තිගැස්මකින් යුතුව කුන්ඩන් පැවසුවේය.
”උඹ මගෙ මගීන්ව හොරාගත්තා.”
”මමත් මගීන්ට කතා කළා. උඹට තිබුණනෙ උඹගෙ මගීන්ව බැඳල තියාගන්න.”
”මම අද උදේ ඉඳලම උඹගෙ වැඩ බලාගෙන හිටියෙ. මම උඹගෙ කොන්ද කඩනවා.”
”එහෙනම් උඹ මගෙ කොන්ද කඩාපන්”
”උඹ හිරිකිත නැතිව මගෙ මගීන්ව අරගෙන යනවා”
”එන්න බාබුජී” කුන්ඩන් ගැමියකුගේ උරහිසින් අල්ලාගෙන පැවසුවේය.
බාරූ, කුන්ඩන්ගේ කමිස කොලරයෙන් අල්ලා ගත්තේය. කුන්ඩන් පොර බදන්නට විය. දෙදෙන පොරකන්නට පටන් ගත්හ. මිනිස්සු ඔවුන්ව දෙපසට කරන්නට වෙහෙසවූහ.
මගීන් සියලු දෙනා බාරූගේ රථයෙන් යා යුතු බවට සියල්ලෝම එකඟවූහ. මගීහු නැවතත් රථයට ගොඩනැගුණහ.
මිනිසුන්ට බාරූ ගැන ඇතිවූයේ කනගාටුවකි. ඔහුට අතිරේක මගියෙක් ලබාදී ඉක්මනින් පිටත් කර හැරීමට ඔවුනට අවශ්‍ය විය. බාරූට මුළු ගාස්තුවම ලැබෙන පරිදි තවත් මගියෙකු - පැමිණෙන තුරු බලා සිටීමට අනෙක් මගීහුද කැමතිවූහ. බාරූ තම කුස පුරවා ගැනීමට පෙර අශ්වයන්ගේ කුස පිරවිය යුතු බව සෑම කෙනෙක්ම පැවසූහ.
පොලිසියේ ප්‍රධාන කොස්තාපල්වරයා පැමිණියේය. “කොල්ලනේ කාන්නාවලට යන ටොන්ගාව කෝකද?”
බාරූගේ සිතේ කැලඹිල්ලක් හටගත්තේය. මේ තතැනැත්තාගෙන් ගාස්තුව ලෙස තුට්ටුවක්වත් ලබා ගත නොහැකිය. එහෙත් පොලිස් භටයකුට නැතයයි කිව නොහැකිය. ඔහු ඉදිරි අසුනේ සිටිනවා නම් ඔහුට තවත් මගීන් දෙදෙනෙකු නංවා ගත හැකිය.
”මගෙ ටොන්ගාව පිටත්වෙන්න සූදානම්. ඉස්සරහ ආසනෙන් වාඩිවෙන්න.”
ප්‍රධාන කොස්තාපල්වරයා ටොන්ගාවට නැග්ගේය. බාරූ තම කටහඬේ උපරිමයෙන් කෑගෑවේය. “තවත් මගියෙකුට ඉඩ තියෙනවා.”
කඩහිමියෙක් පැමිණ වචනයකුදු නොදොඩා බාරූගේ ටොන්ගාවට නැග්ගේය. මහලු කාන්තාවෝ දෙදෙනකු ටොන්ගා නැවතුම් පළේ සිට පාර දිගේ ඉදිරියට පැමිණියහ.
කාන්තාවෝ කඩිමුඩියේ ටොන්ගාවට නැගගත්හ. ටොන්ගාව තුළ මගීන් අට දෙනෙකි. ගාස්තුව වශයෙන් රුපියල් දෙකක්ම ලැබෙනු ඇත. බාගෙවිට දෙවියන් වහන්සේ ඔහුට තවත් මගීන් එවනු ඇත. එවිට ඔහු තවත් ගමන් වාරයක් ගිය හැකිවනු ඇත. බාරූ ටොන්ගා නැවතුම් පළේ භාරකරුට තම ගාස්තුව ගෙව්වේය.
”මම හිතනව ඔහෙ තවත් මගීන් එනකම් බලාඉන්නෙ නැහැ කියලා.” එක් ගැමියෙක් චෝදනාත්මක ලෙස පැවසුවේය.
”නැහැ සර් ඇති කියන්නෙ ඇති. අපි දෙවියන් සිහිකරගෙන පිටත්වෙමු.” බාරූ තම අශ්වයාට ආදරයෙන් තට්ටුකර තෝන් ලණුව අල්ලා ගත්තේය.
දැන් සිගරැට්ටුවක් දල්වාගතහොත් මැනැවයි ඔහුට සිතිණ. ඔහු ටොන්ගාවෙන් බැස පදික වේදිකාවට ගොස් තමන්ගේ පි‍්‍රයතම සිගරැට් වර්ගයෙන් එකක් මිලයට ගත්තේය.
අම්බාලා - ලඩ්හියානා බස් රිය ටොන්ගාව අසලට විත් නතරවිය. ක්‍ෂණිකවම ටොන්ගාවේ සිටි මඟීහු බැස බසය තුළට වැදුණහ. බස් රිය රාක්‍ෂයකු මෙන් ගොරවමින් ඩීසල් දුම සහ දූවිලි ටොන්ගා රියැදුරාගේ මුහුණ වැසීයන සේ පතුරුවමින් ඉදිරියට ඇදී අතුරුදන්වීය.
බාරූ තම කසය තදින් අල්ලාගෙන ටොන්ගා නැවතුම් පොළ මැදටවී යළිත් කෑගසන්නට පටන් ගත්තේය. “කාන්නාවලට යන්න තව එක ආසනයක් තියෙනවා එන්න.”
https://archives.silumina.lk/punkalasa/20120422/_art.asp?fn=ar1204223
ඕවෝ... ඕවෝ... ඕවෝ මගෙ අප්පට බුදු සරණයි ඕවෝ... ඕවෝ...’
උක්කු රාලගේ අඬහැරය කඳු වළල්ලෙන් එපිටටත් ඇසෙන තරම්ය. ඒ ගමන්ම අතේ ඇති කෙවිටෙන් නඟුටු කොටාටත් අං කොටාටත් ගුටි කීපයක් වදින්නට ඇත. ඒත් කොළය පාගන වේගය කිසි විටෙකත් වැඩි වන්නේ නැත. දෙදෙනාටම එක හා සමාන වේගයකින් කොළය වටා යාමට නොහැකිය.
කෝච්චි පාරේ නිදාගෙන සිට වීසි වුණ වේගයට අං කොටාගේ අත හොඳටම නොකැඩී බේරුණා පුදුමය. වලිගයේ ඇතිවුණ තුවාලයක් හේතුවෙන් කොටසක් කපා දමන ලද නඟුටු කොටා ද එක්තරා අවාසනාවන්තයෙකි.
මැස්සන් ඇඟේ වහන ගාණට උන් එළවීමට කොට වලිගය වැනුවාට වැඩක් නැති වුණත් එය කෙරෙන්නේ පුරුද්දට ය. කෙසේ වෙතත් ගමේ හැම ගොයම් කයියකට ම මේ මී හරකුන් දෙදෙනා නැතිවම බැරිය.
උක්කු රාලගේ අඬහැරය ඇසෙන වාරයක් පාසා ලොකු බණ්ඩේගේ අඩිය ඉක්මන් වෙයි. තව කුඹුරු යායවල් දෙකක් පසුකර ගෙන තේ පෝච්චියත්, වට පෙට්ටියත් ඔසවා ගෙන යන ගමනේ අමාරුව දැනෙන්නේ දැන් ය. සති දෙකකට පෙර නියරකින් වැටී කකුල පෙරැළී ඇතිවුණ ඉදිමුම දැන් නම් ටිකක් විතර අඩුය. හන්දි වෙද මහතා නම් කීවේ සුමානයක් පමණ යන තුරු ඇඳට වී සිටිය යුතු බවකි. නමුත් අහස දෙස බලන විට අද හෝ හෙට වැස්සක ලකුණු දිස් වෙන නිසා ගොයම් පෑගීම කල් දැමීම නුවණට හුරු නැත.
වැස්සට අසුවුණ ගොයමෙන් කිසි පලක් නැතිවා සේම ලොකු හාමිනේට දෙන අඳයේ ප්‍රමාණයත්, ප්‍රමිතියත් ඉදිරියටත් මෙම අඳ කුඹුර ලොකු බණ්ඩේට ලැබීම හෝ නොලැබීම කෙරේ බලපායි.
ලොකු බණ්ඩේ කමතට ළඟාවන විට උක්කු රාල මඳකට හරකුන් දැක්වීම නවතා හති අරිමින් සිටී.
‘බණ්ඩෙ උඹේ කකුල තාම හොඳ නෑනේ ද බං’
‘මොනවා කරන්න ද රාලේ මේ වැඩෙත් කෙරෙන්න එපායැ. වරෙල්ලා තේ උගුරක් බීලා හිටහල්ලා’
හරකුන් ඉවතට දක්කා ගෙන ගොස් ගොන් පස් ඇල්ලූ කොලු රැළෙන් එකෙක් දෙන්නෙක් ලොකු බණ්ඩේට ළං වෙති. අයෙක් කමත අයිනේ කුඹුක් ගහ යට ළිඳෙන් කෝප්ප සෝදා ගෙන එති. පන් පෙට්ටියෙන් අග්ගලා එක දෙක එළියට ඇදේ. ඒ සමඟම කහට කෝප්පය හා හකුරු කෑල්ල බැගින් ලැබේ.
‘තව දෙපැයක් වත් යාවි මයෙ හිතේ’
‘දෙවියන්ගේ කරුණාවෙන් වැහි පොදක් නොවැටුණොත්!’
‘උඹේ කොලෙන් පස්සේ මයෙ කොටාලා දෙන්නාට පොඩි නිවාඩුවක් එනවා බණ්ඩෙ’
සැඳැ අව් රශ්මිය කෙමෙන් අඩු වී යන ලකුණු ය. ඉලන්දාරි කීප දෙනෙකුත්, වයසක ඇත්තන් කීප දෙනෙකුත් කමත දෙසට ඇදෙනු පෙනිණි. මේ අතරේ උක්කු රාලට වෙහෙස වූ විට ඔහුගේ සහායට කීප දෙනෙක් ද වූහ. එහෙත් උක්කු රාලගේ අඬහැරය පරයන්නට සමත් ජගතෙක් මේ ගම් පළාතක නැති තරම්ය.
මේ අතර අයෙක් පෙට්රොමැක්ස් ලාම්පුව දල්වති. කිහිප දෙනෙක් වයසක ඇත්තන් වට කර ගෙන ඔවුන්ගේ පැරණි රස කතා ඇසීමට එක්රොක් වෙති. ඔවුන්ගේ කතාබහ එපමණටම මිහිරිය.
මේ අතර හුළු අතු ද රැගෙන ගැහැනු කීප දෙනෙක් කමතට ළඟා වූයේ මුත්තෙට්ටුව රැගෙනය. ලොකු බණ්ඩේගේ බිරිය ලොකු එතනා පෙරටු කොට ගත්, දියණියන් දෙදෙනා හා පුතු ද, නැන්දණිය ද ඒ අතර වූහ.
‘ආ හොඳා... හොඳා... දැන් නම් කුස පණුවොත් හේවිසි ගහනවා’ උක්කු රාලගේ රාජකාරිය ද අවසන් වී ඇති හැඩය.
අනුර පුතා විසින් ගෙන එන ලද පන් පැදුර බිම එළා ආම්පන්න සියල්ල එහි අතුරන ලදී. ලොකු එතනා හනි හනික කුඩා තට්ටු සියල්ල පැදුරෙහි වෙන් වෙන්ව තබා නෙළුම් කොළ ඒවා මත එළුවාය.
‘දැන් කෑම කාලා හිටහල්ලා. අනුර පුතේ උඹ ගොහින් මේ වතුර ජෝගුව පුරවා ගෙන වරෙන්.’ ලොකු බණ්ඩෙ සියල්ලන්ට ම ආරාධනා කළේය. එකිනෙකා අවුත් නෙළුම් කොළ අතුරන ලද තට්ටුව බැගින් රැගෙන යති. බටු හා කරවල බැදුමත්, ගෝවා කොළ මැල්ලුමත් පරිප්පු හොද්දත් රස නහර පිනා යන සේය.
ලොකු එතනා මැටි කෝප්පයකට බෙදාගත් වෑංජන ගෙන යමින් අඩුපාඩු පරිමැසුවාය.
පෝය අත ළඟම එන බැවින් සඳ මෝදු වෙමින් පවතී. කමත අවට රැඳෙන්නවුන් නිසා අවට පරිසරය ප්‍රාණවත් වී ඇත.
ආහාරයෙන් පසු සුළු විවේකයක් එළඹියේය. සමහරෙක් සතුටු සාමිචියේ යෙදුණේ බුලත් විටෙක රස බලමිනි. ලොකු එතනා සියලු භාජන එක්රැස් කළාය.
‘දැන් ගෙදර යන්ට ලැහැත්ති වෙයල්ලා පුතේ’
පුතා අනුර දැනටමත් කොලු ගැටවුන්ට එකතු වී හමාරය.
‘අම්මා මම රෑට කමතේ ඉන්නම්’ ඔහුව මෙපමණක් වේලා නිවසේ රඳවා ගත්තේ ද පෙරැත්තයකිනි. ඔහුගේ බලාපොරොත්තු වූයේ හරකුන් දැක්කවීම වුවත් කමතට එන විට වැඩ අවසන් වී ඇත. නමුත් උක්කු රාලගේ අණින් කළ යුතු ගොන් පස් ඇල්ලීමට නම් ඔහු කොහෙත්ම අකමැතිය.
මේ අතර හුළු අත්තකුත් රැගෙන නිවස බලා පිටත් වූ ලොකු එතනා ඇතුළු පිරිසට තනියට කොලු ගැටවුන් කිහිප දෙනෙකු ද පිටත් කර හරින ලදී. වෙල් යායෙන් ඔබ්බට මුණ ගැසෙන පිල්ලෑව තරමක් අඳුරු බැවින් ඔවුන් තනිවම යැවීම නුසුදුසු යැයි ලොකු බණ්ඩෙ නිගමනය කළේය. අසලින්ම ගමේ සොහොන් පිටිය ද වූ බැවින් ගැහැනු තනිවම යාමට අදිමදි කළහ.
‘ඕං බං රාලේ කොල්ලන්ගේ හූව ඇහෙනවා’
‘උං ඔය වැඩිමනත්ම හූ කියන්නේ බයට බං’
උකුණු ගසේ උදව්වෙන් පිදුරු වෙන් කරන අයුරු බලා ඉන්නට අපූරුය. පැය දෙකක් පමණ වෙහෙස වී බැත පෑහීම ද කළ යුතු විය. මේ සියල්ල අවසන් වන විට රාත්‍රි දහය පසු කළා පමණි. ගෝනිවලින් බැත වසා දමනු ලැබීය. යළිත් සියල්ලන්ටම කෝපි කෝප්පය බැගින් ලැබිණි. මධ්‍යම රාත්‍රිය ළඟා වන විට බොහොම දෙනෙක් විසිර ගියහ. ඉතිරි වූයේ ලොකු බණ්ඩෙ හා පුතු පමණෙකි. කමත අයිනේ විශාල ගිනිමැලයක් දල්වන ලද්දේ සතුන් ගෙන් ආරක්ෂා වීම සඳහාය. කමතේ කෙළවර අටවා තිබු පැල් කොටයේ පැදුරු එළා ගත් ඔවුහු නිදා ගැනීමට සැරසුණහ.
ලොකු බණ්ඩේට නින්ද ගියේ පැය කීපයකි. වටින් ගොඩින් ඇසෙන කුරුල්ලන්ගේ මිහිරි නාදයට ඔහුට ඇහැරුණි. නිදි මැරීම නිසා ඇස් ඇර ගැනීමටවත් අපහසු බවක් දැනුණි. නමුත් ලොකු හාමිනේ උදේ රැයින්ම කමත කරා ළඟා වනු ඇත. නොපමාව ඇයට ඇගේ කොටස වෙන් කර දිය යුතුය.
රන්වන් පැහැයෙන් දිලිසෙන බැතය දුටු විට ඔහුගේ සිත උද්දාම වෙයි. මෙවර වී බුසල් අසූවක් වත් පැහෙන්නට ඇත. ඒ වී ඇටයක් ඇටයක් පාසා තමන්ගේ දහඩියේ සුවඳ රැඳී තිබෙනු ඇත. නමුත් අස්වැන්නෙන් හරි අඩක් ම ලොකු හාමිනේට හිමි වන්නේ අයිතිය වෙනුවෙනි. පොහොර හා බේත් හේත්වලටත් ගිය වියදම් සඳහා වී බුසල් කීපයක් මැන දීම කළ යුතු වේ.
ගිය කන්නයේ ණයට ගත් වී බුසල් කිහිපයක් ද හාමිනේට දිය යුතුව ඇත. කන්නයකින් ලැබෙන අස්වැන්න ඊළඟ කන්නය තෙක් රැක ගැනීම අමාරුය. වී බුසල් කීපයක් ණයට ගැනීමට සිදු නොවුණා නම් පුදුමයකි.
දැනට අවුරුදු දහයකටත් වැඩි කාලයක් තමා මෙම කුඹුරේ වැඩ කර හොඳ අස්වැන්නක් ලොකු හාමිනේට දුන්නා ඔහුට අමතක නැත. යන්තමින් හෝ ආදායම් අඩු වුව හොත් අඳය කැඩීමට සිදුවන බව ලොකු හාමිනේ පවසන්නීය. අඳය කඩන්නටත් ඇයට බැරිකමක් නැත. නමුත් යාප්පුවෙන් ඊළඟ කන්නයටත් කෙසේ හෝ ඔහු කුඹුර ලබා ගනී. ඒ නිසා ඉතා හොඳ අස්වැන්නක් ලැබුණ මේ කන්නයේ ඇගේ කොටස මඳක් අඩු වූවාට කමක් නැත.
‘මේකෙන් කොටහක් අයින් කරගත්තොත් මට ණයට ගත්තුවා පියවත හැකි. හදිසියේම පහළ වූ තණ්හාවකින් ඔහුගේ සිත දැවෙන්නට විය. බැතෙන් වී බුසල් ගණනාවක් ගෝනිවලට දැමු හෙතෙම ඒවා පිදුරුවලින් වසා අයින් කළේ දරුවා අවදි වීමටත් පෙරය. ලොකු බණ්ඩේට තම පියා සිහි වෙයි. අවු. 40 තරම් පැරණි අඳ අයිතියක් ඔවුන් සතුව ඇත. ඉතා ගුණ ගරුක පුද්ගලයකු වූ තම පියා කිසි අඩුවක් නොමැතිව තම අස්වැන්නෙන් භාගයක්ම මහ ගෙදරට සැපයූ අයුරු ඔහුට හොඳින් මතකය. උදේ හවස පන්සිල් රකින, හැම පෝයටම සිල් රකින තම පියා කුඩා වියේ පටන් තමන්ට ගුණ දහම් කියා දුන් අයුරු ඔහුට සිහි විය. තමන් කැටුව හැම පෝයට ම සිල් ගන්නට ගිය අයුරු ඔහුට මැවී පෙනෙන්නට විය.
ඒ අනුව හැඩ ගැසුණු තමා කිසි දිනෙක වංචාවක් කර නැත. තමාටත් දරුවන් සිටී. ඔවුනට ද හොඳ නරක පෙන්වා දිය යුතුව ඇත. කෙදිනක හෝ ඔවුන් තමාව අනුගමනය කරනු ඇත. මේ බව දැන ගත හොත් ලොකු හාමිනේ ගෙන් අඳ කුඹුර නොලැබෙනු ඇත. එමෙන්ම වංචාකාරයකු ලෙස හංවඩු ගැසෙනු ඇත.
ඉද්ද ගැසුවාක් මෙන් නැඟි සිටි ලොකු බණ්ඩෙ වී ගෝනි ටික රැගෙන ආපසු බැතයටම හැලුවේය.
‘හොඳ වේලාවට කවුරුත් ආවේ නෑ. ලැබෙන දෙයින් සංතෝෂ වෙන එක තමා හොඳ’
‘උදේ පාන්දරම වැඩට බැහැලා වගේ’
හිස ඔසවා බැලු ඔහුට පෙනුණේ පාන්දරින්ම පාතරාසය රැගෙන කුඹුරට ළඟා වන ලොකු එතනාගේ සිනහ පිරි මුහුණයි. තමා තව දුරටත් වංචාකාරයෙක් නොවන බව ඔහු ප්‍රත්‍යක්ෂ කර ගත්තේය.
https://archives.silumina.lk/punkalasa/20120304/_art.asp?fn=ar1203043
ඉර අව්වට දිලිසෙන උදලු තලය අතට ගත් උක්කු බංඩෙ යස අගේට වැඩේ කරල තියෙන්නෙ... සේතං අයියට වැඩක් බාර දුන්නම ආයෙ දෙකක් නෑනෙ... ගල් ගැහිච්ච පොළොව දෙකඩ කරන්ඩ මේක ඇති මට... මං ගිහින් එඥ්ඥං... සියාතු හාමි අත දෙකේ කොළයක් මිට මෙලවූ උක්කු බංඩේ යන්නට ගියේය.
දහවලට හාල් හුණ්ඩුවක් ළිප තැබිය යුතුයි සිතා පැල තුළට ගිය සේතං නෙත ගැටුණේ පියස්සේ පරාලයක එල්ලා ඇති මල් චීත්ත රෙද්දකින් සෑදු තොටිල්ලයි. ඔහු ගේ හිත කීරි ගැසී ගියේය. අනේ පොඩි එකා... දෙයි හාමුදුරුවන් ගේ පිහිටෙන් හොඳින් ඇති... උඹ මං වගේ නූනත් මගේ නූනත් කාරි නෑ... නහයයි කටයි ඔක්කොම උඹෙ අම්ම ගෙ වගේලු... මගේ කිසිම දෙයක් උඹට පිහිටලා නෑ කියල ගමේ උං කිව්වට කමක් නෑ. උඹ පත්තිනි අම්මාවරුන් ගෙ පිහිටෙන් සැපෙන් සුවෙං හිටහං... ඔහු තම සිත සතුටු කර ගත්තත් දෙනෙතින් කඳුළු කඩා වැටුණේය.
හිමිදිරියේම අවදි වූ සේතං කලින් දා හේන් යායෙන් එකතු කරගත් වට්ටක්කා මෑකරල් පත්තක්කා සහ පලා මිටි ගෝනි ටික කරත්තයට පටවන්නට වූයේය. දෑතින් ඔසවා ගත නො හැකි මුං ඇට ගෝනිය රැගෙන පැමිණි සේතං ගේ මව ඇසිලින් තව ටිකෙන් මේක මතක නැති කොරනව.
පසු ගමන් පැමිණි මව පුතේ... උඹ තුනපහ ටික අරං ඉවර වෙලා මතක ඇතුව කහ පාට පොප්ලින් රෙදි යාර දෙකක් ගනිං... මං බාරයක් වුණා පෝයට... බෝධියෙ කොඩි හතළිහක් එල්ලන්ඩ... සේතං ඇහුං කං දුන්නේය. හතළිහක්? හතළිහක්ම මොකටද? නෑ බං දැං උඹට මේ මාසෙට අවුරුදු හතළිහක් වෙනව... කරන කටයුතු හරියන්ඩ කියල තමයි එහෙම බාර වුණේ... මතක් කොරල ඇන්න වරෙන්.
පෙරදා සේතං ගෙනත් දුන් රෙදි කැබැල්ලෙන් තුන් හුලස් කොඩි හතළිහක් මසා ගත් ඇසිලින් පෝදා පන්සලට ගියේ පෙහෙවස් සමාදන් වීමටය. බෝධි රුක්ෂයේ කොඩි වැල එල්ලු ඇය යම්කිසි ප්‍රාර්ථනාවක් ද කළාය. ඉන්පසු ආගමික භාවනා වැඩසටහන්වලට යොමු වූ ඇය දහවල් දාන විවේකයේදී අසල් වැසි කොලනි ගමක ජේන් නෝනා සමඟ සල්ලාපයේ යෙදී සිටියාය.
ඔව්... ඔව්... නිදහස් වෙන්ඩ ඕනි... එතකොට තමයි අපිට නිස්කලංකෙ මැරිල යන්ඩ පුළුවං... මං දැං ළමයි පස් දෙනෙක්ම දීගේ දීල යුතුකොං ඉෂ්ට කරල ඉවරයි... එකයි හිටියෙ ඒකිත් දුන්නා. ඒත් ඒ මිනිහ හොඳ නෑ කියල ගිය සුමානෙ ගෙදර ආව. කෙල්ලට පේන්න බෑ නැහැදිච්ච මිනිස්සු. ඔන්න ගෙදරට වෙලා ඉන්නව. ඒකිට රත්තරං බඩු ඇඳුම් කැඩුං මොකොකින්වත් අඩුවක් නෑ. තිහක් වුණාට විස්සක පෙනුම.
මාත් මේ අපේ එකා ගැන බඩේ ගින්දරෙන් ඉන්නෙ... කෝකටත් මට ඔච්චරනෙ. එකා වුණාට කවදාවත් ඒකා යකා වුණේ නෑ... මෙච්චර කාලෙකට මගේ හිත රිදෙන වැඩක් කරල නෑ... ඌට හරි යනවා.
එදා පන්සලේ දී කතා කරගත් පරිදි ඉරිදා දවසක ජේන් නෝනා තවත් ජෝඩු දෙතුන් දෙනෙක් සමඟ ඇසිලින් ගේ නිවසට ගොඩ වැදුණෝය. මේ බව සේතං නොදැන සිටියත් ඉහ නිකට පැසී ඇති ඔහුට මෙය වැටහුණේය. අමුතු කිතියකින් ඔහු ගේ ගත පිනා ගියත් කෝල ගතියක් ද සිතේ ඇති වුණේය.
ගේ පොඩ්ඩ ටිකක් පිළියෙලක් කර ගත්තොත් හොඳයි... එකෙක් පැවසුවේය.
ඉඩකඩ නං පළාතක් තියෙන්නෙ... ඒ අනෙකාය.
අපේ පළාත වගේ නෙවෙයි... ගස් කොලං ටික දැක්කම හිත පිරෙනවා... ගැහැනු ආවේශ විය.
මේ ඉඩෝරෙ හන්දා... වැහි ඇල්ලක් වැටුණම බලන්න එපැයි ලස්සන... සිරියාවෙ බෑ... ඇසිලින් ද පුරසාරමට වැටුණාය.
තීරණයක් ගෙන අමුත්තන් පිටව ගිය පසු ඇසිලින් සේතංව කැඳවූවාය.
උඹට තේරුණා නේද කාරණේ... දීර්ඝ විස්තරයකින් පසු... මොකද කියන්නෙ? විමසුවාය.
මං දන්නෙ නෑ අම්ම ගෙ කැමැත්තක්.
ඇසිලින් ගේ සිත දීර්ඝ කාලයකට පසු සතුටින් ඉපිල ගියේය.
හිතවත් අසල්වැසි කීප දෙනකු කැඳවා ගත් ඇසිලින් කාෂ්ටක පොළොව හා තරග කොට පස් කපා අනා මෝඩ ගඩොල් නමින් ගම්මුන් හඳුන්වන ගල් දෙතුන් සීයක් තනා දොරේ එල්ලා ඇති ඈපා ලිතෙන් සුබ මොහොතක් බලා වැඩට බැස්සාය. මූකලානෙන් නො අඩුව ලැබෙන ලී දඬු සපයා ගෙන ඒවා ද පිළිවෙළකට තැබුවාය. මුදලට වැඩ කර පුරුද්දක් නොමැති මෙගම වැසියෝ අලයක් කොස් මදුලක් තම්බා කා කහට උගුරකින් තොලකට තෙමා ගෙන තම තමන් ගේ වැඩක් මෙන් යුහුසුලුව වැඩ කරති. ඇසිලින් ඔවදන් උපදෙස් දෙමින් ඔවුන් හා සම සමව වැඩෙහි යෙදුණාය. සති දෙක තුනක් යාමට මත්තෙන් වහල මට්ටම දක්වා කාමර දෙකක නිවසක් තනා ගැනීමට ඔවුහු සමත් වූහ.
ගමට හූවක දුර වල් අලින් වෙසෙන පැඟිරි මානාවලින් පිරුණු පතන් බිම වෙත ඔවුන් ඇදී ගියේ වැසි සමය ඇරැඹීමට පෙරය. කෙනෙක් මනා පඳුරු සිඳින අතර තවෙකෙක් එවා මිටි බඳියි. එසේ මෙසේ ඇසිලින් ගේ අලුත් නිවස පැඟිරි මානා පියස්සෙන් වැසී ගියේය. ගම්මානේ නො අඩුව ලැබෙන ගොම රතු පස් සමඟ මිශ්‍රකොට ගෙබිම පුරා ආලේප කිරීම ඇසිලින් කිසිවෙකුටත් නොදී තමාම භාර ගත්තාය.
දැන් ඉතින් දරු පැටව් හදා ගෙන හොඳින් හිටපල්ලා... අපේ යුතුකං අපි කරා... සමු ගනිමින් නෑදෑයෝ පිටත්ව ගියෝය. අලුත් ගෙදර අලුත් ලේළිය සැමියා සහ නැන්දම්මා තනි වූහ.
ඇසිලින්ට දැන් දැන් ලේළිය ගෙන් අත් උදව් ලැබුණත් ඇය ගේ නායකත්වය ලේළියට දීමට අකමැති වූවා ය. සෑම දෙයක්ම ඇසිලින් ගේ මූලිකත්වයෙන් කරන්නට වෙර දැරීම නිසා සුළු සුළු සිත් අමනාපකම් ද ඉඳහිට ඇති විය. කාලයා ගේ ඇවෑමෙන් ලේළියටම ගෙදර ආධිපත්‍යය හිමි වෙමින් ඇසිලින් ලෙඩ ඇඳට වැටුණේ සොරොව්ව ළඟ ලිස්සා වැටීම නිසාය. ගොඩ වෙදකම් කර නො හැකි තැන හබරණ ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට ගෙනියන්න සූදානම් කරමින් සිටින අතර තුර අංශ බාග රෝගයෙන්ම ඇය මිය පරලොව ගියාය.
මේ සිද්ධිය ගම් තුලානේ ඕපදූප දෙස බාන බවලත් උදවියට උණුසුම් ශීර්ෂ පාඨයක් විය.
බලපංකො අලුත් ලේළි ගෙ තියෙන සිරියාවන්තකොම... ඇවිල්ල සති දෙකයි ගියේ... ඇසිලින් අක්කවත් සදහටම යැවුව නේද? මූසල ගෑනියෙක් වෙන්ඩ ඇති... කලින් බැඳපු අම්මණ්ඩි කෙනෙක් වගේනෙ ඇඟපත... දරුවොත් හිටපු එකියෙක්ද කොහෙද?... දැන් ඉතින් සේතංට දෙයියන්ගෙම පිහිටයි.
ගෙදර පමණක් නොව කම්මලේ සහ වත්ත පිටියේ ආධිපත්‍යය ද ලේළිය අයිතිකර ගත්තේ සේතං ගේ සිත මඳක් සසල කරමිනි.
මේ අතර තුර ඇය මවක් වීමේ පෙර නිමිති පහළ කරන්නට වූවාය. මෙතරම් ඉක්මනින් සේතං එය බලාපොරොත්තු නූනත් ඔහුට සියුම් සතුටක් මෙන්ම උඩඟුකමක් ද ඇතිවුණේය. මගේ නම ගෙනියන්ඩ එකෙක්... කොල්ලෙක් වුණොත් ඌට තමයි මගෙන් පස්සෙ කම්මල... හොඳට පුරුදු කරල ගන්ඩ ඕනි... ඔහු අහස් මාලිගා තැනුවේය.
කම්මලේ වැඩ නැති දිනවලට සේතං වෙහෙස මහන්සි වී වගා කටයුතු කළේ පියකු ගේ බර හිතට අරගෙනය. ඔහු භෝග වගාවට යොමු වීමට විශේෂතම හේතුව වූයේ ඔහු සතු කුඹුරු අක්කර කාල මඳක් උස්ව පිහිටීම නිසා ඇති වී තිබෙන ජල ප්‍රශ්නයයි. අලුත් නිවස සෑදීම සඳහා කපා ගන්නා ලද පස් තට්ටුව නිසා කුඹුරෙන් අඩක් පමණ වතුර මට්ටමට පැමිණ තිබුණි. එය ද ඇසිලින් ගේ දුර දක්නා නුවණින් ගන්නා තීරණයක් නිසා සිදුවුණි. එම නිසා කුඹුරු අක්කර කාලේ වී ඉස ගොඩ ඉඩමේ තමාට බෙහෙවින්ම අත් ගුණය පිහිටා ඇති භෝග වගාව කළේය. එහෙත් කිසි දිනෙක අත් උදව්වට බිරිය පැමිණියේ නැත. ඇය ගෙදර දොර කටයුතු මෙන්ම මුදල් පාලනය සියතට ගත්තේය. සේතං අත පල්ලෙන් වැටිච්ච එකා විධියට ගම්මුන් හැඳින්වීය.
දැන් දැන් සේතං ගේ බිරිය ගේ කුස මෝරා ගෙන එයි. ඇය සෝමාරි කමින් කල් ගත කරයි. සමහර විට වැඩපළ අහවර කරන සේතංට ඉවුම් පිහුම් කටයුතු පවා කිරිමට සිදුවේ. යටහත් පහත්ව ඒවා කර දෙන්නේ ඔහු ගේ නියාලුකම නිසාය. අත පසුවීමක් සිදුවන විට බිරිය ගෙන් බැණුම් අසන්නට ද සිදුවේ. එහෙත් බිරිඳටත් වඩා බඩේ සිටින කිරි සප්පයා ගැන සිතා ඔහු කරබා ගනී.
නැන්දණිය ගේ පැමිණිමත් සමඟ සේතං ගේ නිදහසට බාධාවක් විය. කම්මලේ නැහී ගෙන වැඩ කළත් තේ කෝප්පයක් දීමටවත් නැන්දණිය ඉදිරිපත් නොවේ. සේතං බලමුකො... බලමුකො... සිතමින් තව තවත් ඉවසයි.
මාස අටක් පමණ ගත විය. දිනක් රාත්‍රියේ සේතං ගේ බිරිය අසාධ්‍ය වී ලතෝනි තබන්නට වූවාය. තව කල් තියෙනවනෙ සිතමින් සේතං සහ නැන්දණිය සුළු සුළු ගොඩ වෙදකම් කරන්නට වූවෝය. එහෙත් පාන්දර ජාමය වෙන විට තත්ත්වය උත්සන්න වූ නිසා රෝද තුනේ ට්‍රැක්ටරයක් ගෙන හබරණ ඉස්පිරිතාලෙට රැගෙන යන්නට සිදු විය.
එදිනම දහවල් සේතං ගේ බිරිය පිරිමි දරුවෙක් බිහි කළාය. එහෙත් අභාග්‍යයකට දෝ දරුවා ගේ දකුණු අතේ ඇඟිලි හයක් පිහිටා තිබුණත් නිරෝගීව සිටියේය. සතියකින් පමණ මව සහ දරුවා ගෙදරට රැගෙන ආවේය. දැන් සේතංට කරවටක් වැඩය. නැන්දණිය දරුවා ළඟට වී තොදොල් කතා කියමින් කල් මරයි. අතේ ඇඟිලි හය ගැන දියණිය සමඟ රහසින් කතා කරයි. ඒ මදිවාට දරුවා බලන්න එන උන් කම්මල පසු කර ආ පසු යන අතර කියන කතා සේතං ගේ හිත පාරයි.
සේතං ගෙ මූණක් ගෑවිලාවත් නෑ...
නහයයි කටයි අම්ම ගෙ වගේ...
අනික සේතං හොඳ රතු මිනිහනෙ...
හීන් එකා කපුටෙක් වගේ කළුයි...
අම්මවත් එච්චර කළු නෑ...
ඔහු දරු ගැබක් කුස තුළ සිටිය යුතු මාස ගණන හරියටම දැන නො සිටියත් ගැහැනුන් ගේ කතා නිසා මෙහි මොකද්දෝ විශාල රහසක් ඇතැයි සිතුවේය. ඒ අතර නිතරෝම දරුවා ගේ අත අල්ලා ගෙන බිරිය සහ නැන්දණිය ඇඟිලි හය ගැන හෙමින් කරන සංවාදය ඔහුට බලවත් ප්‍රහේලිකාවකි. සිතට දුකකි.
ඉර පයා බැස යයි. නොසන්සුන් තාවයෙන් අසමගියෙන් සේතංලා ගේ ජීවිත ගෙවී යයි.
දිනක් බිරියගේ සහෝදරයක් පැමිණ අලුත් ආරංචියක් සැල කළේය. එනම් තම බිරිය ගේ දික්කසාද නඩුවේ තීරණය දීම සඳහා දන්වා ඇති දින පොළොන්නරුව දිස්ත්‍රික් උසාවියට පැමිණෙන ලෙස දුන් පණිවිඩයයි. ගැටලු ගණනාවක් මැද එක ගැටලුවකට හෝ විසඳුමක් ලැබීම ගැන සේතං සතුටට පත් වුණේය.
නියමිත දින දරුවා නැන්දණියට බාර කළ ඔවුහු පාන්දර බසයක නැගී පොළොන්නරුව බලා පිටත්ව ගියහ. උදේ නවයට උසාවියේ කටයුතු ආරම්භ කරන ලදුව හතරවැන්න ලෙස ඔවුන් ගේ නඩු විභාගය යෙදී තිබුණි. කිසිවකු ගේ විරුද්ධත්වයක් නැතිව ඒකමතිකව සිය කැමැත්තෙන්ම දික්කසාද වීමේ තීන්දුවට නඩුකාර උන්වහන්සේ ගේ අනුමැතිය ලැබුණි.
ලිපි ගොනු අත්සන් කිරීමේ අවස්ථාව පැමුණුන කල සේතං ගේ බිරිය අත්සන් කළාය. සේතං ඒ දෙස බලා සිටියේ සතුටිනි. ඉන්පසු එළඹුණේ පුරුෂ පාර්ශවයේ අවස්ථාවය. ඔහු පැමිණ ලිපි ගොනුව අත්සන් කිරිමට සූදානම් වන විට දුටු දෙයින් සේතං ගල් ගැසී ගියේය. තම බිරිය ගේ කලින් ස්වාමියා ගේ දකුණු අතේ ද ඇඟිලි හයක් පිහිටා තිබුණේය. දැන් දැන් රෑ දුටු සිහිනයක් සේ තත්ත්වය සේතංට වැටහෙන්නට වූවේය. ඔහු දත් සපා ගත්තේය. හෙමින් හෙමින් සෙනඟ අතරින් රිංගා ගිය ඔහු නැවතුණේ කම්මලේ ලණු ඇඳ මතය. හෝරා දෙක තුනකට පමණ පසු ගෙදර පැමිණි බිරිය සහ සොහොයුරාට ඔහු මුහුණ දුන්නෙ නැත. මඳ වේලාවකින් සේතං ළඟට සේන්දු වූ බිරිය
මං යනවා... මට සමා වෙන්ඩ.... පැවසුවාය.
වැව් බැම්ම දිගේ ඈත නොපෙනී යන බිරිය සහ දරුවා දෙස ඔහු නෙත් යොමු කළේ කඳුළු පිරි දෙනෙතිනි.
ඔහුට නිසලව ඇති කම්මලේ කිණිහිරය නෙත ගැටිණි. වසර විසි පහකටත් වඩා ඈත සිට මිටියෙන් කුළුගෙඩියෙන් පහර කෑ කිණිහිරය ඉවසනු නොහැකිව මෙන් බොකු ගැසී තිබුණි. මෑත අතීතයේ වේදනාවෙන් සංතාපයෙන් පරාජයෙන් පහර කෑ සේතං ගේ හදවත ඉදිමී තිබුණේ පැසුණු රෝම කූප අතර පැහැදිලිව පෙනෙන ඉල ඇට කූඩුව පිටතට තල්ලු කරමිනි.
https://archives.silumina.lk/punkalasa/20111211/_art.asp?fn=ar1112113
කාගෙන් හෝ ආදරයක්, කරුණාවක්, හව්හරණක්, සොයා ගැනීම ඇයට අසීරුය. කැල්සියම්, විටමින්, ප්‍රෝටීන්, සපිරි සමබර ආහාර වේලක් ගැන සිතීම සිහිනයකි. කන්න බැරිව ඉතිරි වන කෑම පාර්සලයකින් හෝ පාන් කෑල්ලකින් කුසේ ගින්දර නම් යාන්තමින් ඇය නිවා ගනී.
වර්ෂ පූර්ණයට තව ඇත්තේ මාස දෙකයි. දෑකැත්තක් වගේ රව්මට ගුලි ගැහිලා මේ අඳුරු ගුහාව තුළ හිර වී දුක් විඳපු කාලය ඇයට දැන් හොඳටම තිත්ත වෙලාය. ඒ නිසාම ඈ අතපය දිග හරින්නට දැඟලුවාය.
මුළු ලෝකයටම ඇසෙන තරමට තමාගේ මානව අයිතිය පිළිබඳව කෑ ගසා කියමින්, කශේරුකා සුන්දර ලෝකයක් සිතේ මවාගෙන, අඳුරු කුටියෙන් එළියට පැන ගත්තාය.
ඒත් අනේ! අවාසනාවක තරම; ඇගේ දෙඇස් නිලංකාර වී ගියේය. නගරයේ කුණු කසළ පිරුණු කාණුවක් ඇතුළට ඈ වැටුණාය.
මලානික ලෙස හිරු කඳු අතරින් පහළට බැස ගියේය. දිවා කල ඝෝෂාකාරී වූ නගරය දැන් නිදිය. කාණුවෙන් මතුවෙන කෙඳිරිලි හඬට විදුලි පන්දමක සැර එළියක් වැටුණේය. කිසිවක් කර කියාගත නොහැකි වූ කශේරුකා ඔහුට තුරුලු වූවාය.
ඔහුගේ උණුසුම ඇයට දිව ඔසුවක් මෙනි. ඔහු දෙපාරක් නොසිතුවේය. කෙළින්ම ඈ තම නිවසට කැන්දාගෙන ගියේය.
“ඕව මහ කරදර වැඩ, පින් පව් බලන්න ගිහිං අපිමයි කරදරේ වැටෙන්නෙ...”
ලොකු නෝනා සාලයේ එහාට මෙහාට යමින් නෝක්කාඩු කියන්න පටන් ගත්තාය.
“මැගී අම්මා උඹ මොකද කියන්නෙ...?”
ලොකු මහත්තයා මැගී අම්මා දෙසට හැරී වේගවත් ස්වරයෙන් ඇසුවේය.
“මහත්තයා කියනවනං මට ප්‍රශ්නයක් නෑ, මං බලාගන්නම් කශේරුකාගේ මුහුණ ඉඹිමින් මැගී අම්මා කීවාය.
කල්යත්ම දවසින් දවස ‘කශේරුකා’ කියන නම ඒ ගෙදර හැමවිටම මන්තරයක් මෙන් ඇසෙන්නට පටන් ගත්තේය.
“කශේරුකා”
“එනවා ලොකු නෝනා, ලොකු මහත්තයා, බේබි මහත්තයා, චූටි නෝනා, ඩැයිවර් මාමා, මැගී අම්මා, මේ සේරොටෝම, එනවා, එනවා, එනවා... එනවා.
“කශේරුකා?”
“අරන් වරෙන්, ගිහිං තියපං, හෝදපං, පිහදාපං, අතුගාපං,
පොඩි පොඩි වැඩ කෙළවරක් නෑ... අවුරුදු හතක් ගත වුණා කශේරුකාට දැනුණේවත් නෑ. දවසක් උදේ පාන්දර සුදුපාට අත් දිග කමීසයක් ඇඳගත්තු හීන්දැරි උස මහත්තයෙක් මිදුලේ එහා මෙහා ඇවිදිමින් කුස්සිය පැත්ත දෙස විපරමින් බැලුවේය.
කශේරුකා වතුර බාල්දියක් බොහොම අමාරුවෙන් ඔසවාගෙන ආවාය. ඔහු ඇය සමඟ සිනාසුණේය. ඇය විළියෙන් බිම බලා ගත්තාය.
“ඔයාගෙ නම මොකක්ද?”
“කශේරුකා”
“ඔයාගෙ වයස කීය ද?”
“දන්නෙ නෑ”
“ඔයාගෙ තාත්තා ඉන්නව ද?”
“නෑ”
“අම්මා ඉන්නව ද?”
“නෑ”
“ඔයා කොහොමද මෙහාට ආවෙ?”
“දන්නෙ නෑ”
“ඉස්කොලෙ යනව ද?”
“නෑ”
“ඔයාට මෙහේ ඉන්න අය ගහනව ද?”
“නෑ”
“ඇයි කශේරුකා දෙකට නැමිලා වගෙ?”
ඈ අහිංසක ලෙස සිනාසී කෙළින් වෙන්නට උත්සාහ ගත්තාය.
“කශේරුකා!”
ලොකු නෝනාගේ කටහඬ ඇසී ඇය වහා කුස්සිය ඇතුළට දිව ගියාය. ලොකු මහත්තයා බොහෝ වේලාවක් ඒ සුදු ඇඳගත් අමුත්තා සමඟ කථා කරමින් සිට ලියුම් කවරයක් වැනි යමක් ඔහුගේ අතට දුන්නේය.
“හෙට ඉඳලාම ඉස්කෝලෙ යවන්න නැත්නම් කව්රුත් අමාරුවෙ වැටේවි.”
“හරි... හරි... අපි හෙටම යවනවා...”
ඔරලෝසු කටුව දඩි බිඩි ගා කැර කැවෙමින් දින, සති, මාස, අවුරුදු පිම්මේ දුවගෙන ගියේය. සාමාන්‍ය පෙළ විභාගයට කශේරුකා පාඩම් කරමින් සිටියාය. සුපුරුදු පරිදි ලොකු නෝනා ගේ කාමරයෙන් නින්දෙන් ගොරවන හඬ නිකුත් වෙත්ම කශේරුකාගේ කාමරයේ ද ලයිට් නිවී ගියේය.
“දැන් පාඩම් කරල වැඩක් නැහැ...”
“හ්ම්”
“උඹට ඔය විභාගයට ලියන්න වෙන්නෙ නැහැ.”
“හ්ම්”
“මං උඹව අපේ ඩැයිවරයට අද හෙටම බන්දල දෙනව...”
“මට බැහැ”
“බැහැ කියල කොහොමද යෝදියෙ? රට්ටු මට හිනා වෙයි.”
“ඉතිං මගෙ මොකෝ?”
“උඹ බය වෙන්න එපා උඹට ඌ කැමතියි.”
“නැහැ... නැහැ. එයා කැමැති නැහැ.”
“ඇයි ඒ?”
“එයා සේරම දන්නව.”
“මං උඹලට පහළ වෙල ගාව ඉඩමෙන් ගෙයක් හදල දෙන්නම්...”
“එපා... එපා මට එපා... මීට වැඩිය හොඳයි එදා අර කාණුව ඇතුළෙම මං මැරිල යන්න ඇරියනං ඉහි... ඉහිහ්... ඉහි... අනේ දෙයියනේ මං එතනම මැරුණ නං හොඳයි...”
“ශ්ෂ්... කට... කට... හෙමිහිට කථා කරපං”
පසුදා උදෑසන, කාලයක් තිස්සේ නිදි මරාගෙන දුක් මහන්සි වී පාඩම් කළ පොත් පත් උත්තර පත්‍ර, ප්‍රස්තාර, සිතියම් කෙටි සටහන් සියල්ල කීතු කීතුවලට ඉරා දැමු කශේරුකා තම කාමරය මැදම ඒවා ගිනි තැබීමට සූදානම් වූවාය. මැගී අම්මා බොහෝ අමාරුවෙන් ඒවා ඇගේ කාමරයෙන් ඉවත් කළාය.
කශේරුකා පාසල් ගමන නතර කළාය. ගෙදර දොරේ කළ කී වැඩ කටයුතු සියල්ල නවතා දැමු ඇය ඇගේ කාමරයටම වී දස අතේ කල්පනා කරන්නට වූවාය.
එක් එක්කෙනාගෙන් ඉල්ලාගත් බොළඳ පේ‍්‍රම කථා, නවකථා, කෙටිකථා, මාරක කථා, සිනමා පත්තර, සඟරා, කියවන්නට පටන් ගත්තාය. ඇගේ කෑම බීම අනෙකුත් පහසුකම් සියල්ල ඇගේ කාමරය ඇතුළටම ලැබුණේය. දවසෙන් වැඩි කාලයක් ඈ කාමරය තුළ තනි වී සිටියාය. දවසට වරක් හෝ දෙවරක් මැගී අම්මා පමණක් ඇගේ කාමරයට ගොස් ඈ සමඟ කථා කළාය. හිටි හැටියේ ඈ මහ හඬින් අඬන්නටත් සිනාසෙන්නටත් පටන් ගත්තාය.
දෙසැම්බර් මාසයේ සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ විය. මිනිසුන් කීප දෙනෙකු එක් රොක් වී වීදියේ කාණුවකට පොර කකා එබිකම් කළහ. සාමාන්‍ය පෙළ විභාගයට ලියන ළමුන් කීපදෙනෙක් ද බිය පත්ව ඒ දෙස බලා සිටියහ.
ඒ ආසන්නයේම, දිරාපත් වෙමින් තිබු ලෑලි කඩයක් අස්සෙන් එක් වරම මහ හඬින් වියරු සිනා හඬක් නැගුණි. රැස්ව සිටි සියල්ලෝම ඒ දෙස බැලූහ. කශේරුකා දෑත් ඔසවාගෙන මහ හඬින් මොනවාදෝ කියමින් රැස්ව සිටි පිරිස දෙසට හෙමින් හෙමින් පියවර මැන්නාය.
https://archives.silumina.lk/punkalasa/20110918/_art.asp?fn=ar1109183
40
තායිලන්ත ලේඛක පෙන්ශ්‍රී කෙයින්ග්සිරි
සිංහල අනුවාදය-බොබි ජී. බොතේජු
එක් උදෑසනක බැංකොක් නගරයේ පිහිටි ආබාධිත දරුවන් සඳහා වූ පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි නේවාසික ව සිටින පෝලියෝ රෝගයට ගොදුරු ව සිටි අට හැවිරිදි දරුවකු වූ ධනු තමරොන්සාකදි බිම දිගේ ඇදී යමින් දස හැවිරිදි වියේ පසුවන තම මිතුරා හමුවීමට පැමිණියේ ය. තම අතක් බිම තබා ඉදිරියට ඇදී යාම පහසු බව හෙතෙම පැවසුවේ ය.
“ඔයා දන්නව ද? මාව සඳුදාට ශල්‍යකර්මයට ගන්නවා”
“ඇත්තට ම?”
“ඔව් උබෙල් නෝනා මට කිව්වා” ඔහු ඉන් අදහස් කළේ මධ්‍යස්ථානය බාර අධිකාරිවරිය ගැනයි.
“මම හුඟ කාලයක් බලාගෙන හිටියා. ඒත් හදිස්සියෙන් ම මගෙ වාරෙ ආවා. මම වැඩිය සතුටු නැහැ”
“ඇයි?” පිටාක් විමසුවේ ය. ඔහුගේ ආබාධිත තත්ත්වය එතරම් දරුණු නොවේ. ඔහු කිහිලිකරු ආධාරයෙන් ඇවිදීමට පුහුණුව ලබමින් සිටියි.
“මට බය හිතෙනවා”
“අපි ඔක්කොට ම එහෙමයි. ඒත් ඔයාගෙ කකුල් කෙළින් තියෙන්න හදන්න පුළුවන් නම් ඔයාටත් පුළුවන් මට වගෙ කිහිලිකරු ආධාරයෙන් ඇවිදින්න. ඒක අත් බිමින් තියල බිම දිගේ ඇදිල යනවට වඩා පහසුයි”
“ඒත් මට තවමත් බයයි ඒකෙන් වේදනාව ඇතිවෙයි කියල හිතල”
“ඔයා කිව්වේ උතුරෙ ඉඳල ඔයාගෙ අම්ම එනව කියල ශල්‍යකර්මය කරන වෙලාවෙ ළඟින් ඉන්න. ඉතින් අම්ම එනව ද?”
“මම බලාපොරොත්තු වෙනවා. මම හිතනවා අම්ම ඒවි කියල. අද මගෙ අක්කා දරුණී මාව බලන්න ආවහම මම එයාට කියනව අම්මට වහාම එන්න කියල ලියල යවන්න කියල”
එදින සන්ධ්‍යාවේ බැංකොක් නගරයේ නේවාසික පාසලක උගෙනුම ලබන ගැටවර වියේ පසුවන දැරියක වූ දරුණි පැමිණ තම සොහොයුරාගේ ඇඳ අසල සිට පොරොන්දු වූවා ය. ඇගේ මුහුණේ ගැඹුරු පෙනුමක් විය.
“ඔව් ධනු ඇත්තටම මම අම්මට ලියන්නම්. ඒත් අම්ම පොරොන්දු වුණා නේද ශල්‍යකර්මය දවසට බැංකොක්වලට එනවයි කියල. මම ආපහු ගිය ගමන් ම අම්මට විදුලි පුවතක් යවන්නම්. අද බදාදනෙ”
පසුදින ඈත උතුරේ ලැම්පැන්ග් නගරයේ වාසය කළ ධනුගේ මව දරුණිගේ විදුලි පුවත ලබා කඳුළු සැලුවාය.
“අසරණ ධනු මට හරිම සතුටුයි. එයාව බලන්න මම යන්න ද?” රාත්‍රී භෝජනය ගනිමින් සිටි ඇගේ සැමියා ඇස් කොනකින් ඇය දෙස බැලුවේය.
“එතකොට පුංචි බබා ශ්‍රීප්‍රායි?”
“ඒකට ඔයා ඉන්නවනෙ”
“මම සාප්පුව බලාගන්න එපායැ”
“හැමදාම රේඩියෝ මිලට ගන්න මිනිස්සු එන්නෙ නැහැනෙ. පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ඇතුළු කළාට පස්සෙ මම ධනු ව එක සැරයක්වත් දැක්කෙ නැහැ” ඇය හඬන්නට සූදානමින් සිටියා ය. ඇගේ ඇස් තෙත්වී ඇත.
“ඔයා බබාවත් බලාගෙන සාප්පුවත් බලාගෙන හිටියොත් හොඳ නේද? ඔයා වෙනුවට මම බැංකොක්වලට යන්නම්” බැංකොක් හිදී අනිකුත් ළමයින් සමඟ ගත කළ පාසල් ජීවිතය ඔහුගේ මතකයට නැඟිණ. ඔහුට පැරණි පාසල් මිතුරන් හමුවීමට අවස්ථාවක් සැලසී ඇත.
ඇය සැකයෙන් කොඳුරමින් මඳක් අදිමදි කළා. “මම යනව නම් තමයි වඩා හොඳ”
“ඔයා නතර වෙනව නම් තමයි පුංචි බබාට හොඳ. කොහොම වුණත් ධනුට දැන් වයස අවුරුදු අටක්නෙ. පුංචි බබාට තාම මාස අටයිනෙ”
“මම දන්නවා ඔයාට යන්න ඕනෙ ඇයි කියලා” ඇය අකැමැත්තෙන් සිතුවා ය. තමාගේ ආබාධිත පුත්‍රයා වෙනුවෙන් ඇගේ හදවත රිදුම් දෙන්නට විය. ඔයා ඔයාගේ පුංචි අසරණ පුතා ගැන හිතන්නෙ නැහැ නගරයට ගියහම විනෝද වෙන හැටි ගැන තමයි හිතන්නෙ. ඔයා ධනු ගැන වැඩි හෙවිල්ලක් බැලිල්ලක් කළෙත් නැහැ. ආබාධිත ළමය ගැන කියනව නම් ඔයා එයාව හිතෙන් අහක් කරලයි හිටියෙ. දකින්නවත් කැමති නැහැ. ඔයා වැඩ කළේ ඔයාට ඉන්නෙ ළමයි දෙන්නෙක් විතරයි කියල හිතල දරුණියි පුංචි පුතයි. ආබාධිත දරුවා ගැන කිසිම තැකීමක් නැහැ. ආබාධිත ළමයට මොන වුණහම මොකෝ? ඔහෙ ජීවත්වෙලා පුනරුත්ථාපන කඳවුරේ ම මැරිල යාවි.
ඇයි ඔයා අඬන්නෙ?”
“මට යන්න ඕනෙ. කරුණාකරල කැම්ජෝන් මට යන්න ඉඩ දෙන්න”
“ඔයාට එහෙදි කරන්න පුළුවන් වැඩේ මොකක්ද? ඔයා දොස්තර කෙනෙක් නෙවෙයිනෙ”
“ඒත් ශල්‍යකර්මයට කලින් ධනුව සතුටින් තියන්න මට පුළුවන්. මට එයාට කරුණාවයි ආදරයයි පෙන්වන්න පුළුවන්. මට එයාව සනසන්න පුළුවන්. ටිකක් වේදනා දැනුණත් ශල්‍යකර්මයෙ වටිනාකම පෙන්වා දෙන්න පුළුවන්. එයාගෙ අම්ම ළඟ ඉන්නවා ඒ නිසා බයවෙන්න එපා.”
“ඇයි ඔයා හිතනවද මට බැහැ කියල ඒ වගෙ වැඩ කරන්න”
“ඔයා පිරිමියෙක් කැමිජෝන්. සමහර දේවල් තියෙනවා පිරිමින්ට වඩා හොඳට ගෑනුන්ට කරන්න පුළුවන්. තවත් සමහර දේවල් තියෙනවා ගෑනුන්ට වඩා හොඳට පිරිමින්ට කරන්න පුළුවන්”
“මේ අහන්න. මම පොරොන්දු වෙන්නම් ධනුව ශල්‍යකර්මයට ගන්න කලින් මම රෝහලට ගිහින් එන්නම්. මම එයාව සනසන්න කරන්න පුළුවන් හැම දෙයක් ම කරන්නම්. කොහොම වුණත් එයා මගෙ පුතානෙ. ඔයා හිතනවද මම එයාට ආදරේ නැහැ කියල”
ඔහු දෙස සැකයෙන් බැලු ඇය අවසන් වරටත් ඉල්ලීමක් කළා ය.
“ශල්‍යකර්මය වෙලාවට එයා ළඟ ම ඉන්නව කියල මමයි පොරොන්දු වුණේ”
“ඒකෙ ඇති වෙනසක් නැහැ. එයාට අවශ්‍ය අපි දෙන්නගෙන් කෙනෙක් ඉන්නව දකින්නයි”
සිකුරාදා උදෑසන හැඳපැලඳ ගත් කැමිජෝන් බැංකොක් ශීඝ්‍රගාමී දුම්රියට නැග්ගේ ය. පසුදින සවස ඔහු නගරයට ළඟා විය. කෙළින් ම ගොස් තම දියණිය හමුවීමට හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යනු වෙනුවට හෙතෙම ගියේ තමාගේ කිට්ටු මිත්‍රයකු වූ ඇනෙග් හමුවීමටයි.
තම මෑණියන් පැමිණෙන බව හෝ ගෙදරින් පණිවිඩයක් ලැබෙන බව හෝ නොදුටු දරුණි ඉරුදින උදෑසන ම පුනරුත්ථාපන මධ්‍යස්ථානයට දුරකථනයෙන් කතා කළා ය. තම මව පැමිණ සිටීදැයි දැනගැනීමට ඇයට අවශ්‍ය විය. ඇය පැමිණ නැති බව දැනගත් දරුණි තම සොහොයුරු ධනුට කතා කිරීමට අවශ්‍ය බව කීවා ය.
ශල්‍යාගාරයට ගෙන යාමට පෙර තම මව දැකීමට අවශ්‍ය බව කියමින් ධනු දුරකථනයන් වැලපුණේ ය. අසරණ දරුවා දැඩි වේදනාවෙන් වැලපෙන්නට විය. ඔහු ව සැනසිය හැකිවූයේ උබොල් මෙණෙවියටයි.
ලැම්පැන්ග් නගරයේ සිට එදින දුම්රියක් නොපැමිණෙන බව දැන සිටි දරුණි ටික වේලාවක් නිහඬවම කල්පනා කළා ය. ලැම්පැන්ග් සිට පැමිණෙන මීළඟ ශීඝ්‍රගාමී දුම්රිය ළඟාවන්නේ සඳුදා මධ්‍යාහනයේදී ය. එහෙත් ශල්‍යකර්මය එදිනම උදේ 9 ට සිදු කිරිමට සැලසුම් කර ඇත. එබැවින් ඇගේ මවට කලට වේලාවට පැමිණිමට නොහැකි වනු ඇත.
දරුණු ගැඹුරු කල්පනාවක නිමග්න වූවා ය. ඔහු තම දෙපා සඳහා ශල්‍යකර්ම කිහිපයක්ම කරගත යුතුය. මෙවර ඔහුට අවස්ථාව ගිලිහී ගියහොත් ඊළඟ වාරය පැමිණෙනතුරු මාස කිහිපයක් බලා සිටීමට සිදුවේ. එහෙත් ශල්‍යකර්මය සඳහා ධනු ව පොලඹවා ගැනීමට ඇයට හැකිනම්...? ශල්‍යකර්මය අවස්ථාවේ ඔවුන්ගේ මව පැමිණ සිටින බවට ඇයට පොරොන්දු විය හැකි නම්...? ඇය වහා ම කිසිවක් කළ යුතුය. උත්සාහය අපතේ නොයනු ඇත.
දුර බැහැරට කතා කළ හැකි දුරකථනයකින් තම මවට ඇමතුමක් ගෙන ඇය කතා කළා ය. ඇය බියෙන් පසු වූ ශ්‍රීපායි ව තනිකර පැමිණිම නුසුදුසු ය. ඇයට අනතුරක සේයාවක් දැනිණ.
සමහරවිට කැමිජෝන් බැංකොක්වලදී කෝච්චියෙන් බහින්න නැතිව ඇති? ධනුට අපිව කොතරම් අවශ්‍ය ද කියල ඔහුට තේරෙන්නෙ නැද්ද? ඔහුව මංකොල්ලකරුවන්ට අහු වුණා ද? මැරුම් කෑවා ද? මහ පාරේදී වාහනයකට යට වුණා ද? මෙවැනි බියජනක සිතිවිලි ගැන සිත සිතා සිටීමට මෙය වෙලාවක් නොවේ. ඇය අවශ්‍ය දෑ රැස්කරගෙන පිටත්විය යුතුය.
ඕ කඳුළු යටපත් කරගෙන වෙව්ලන දෑතින් ඇඳුම් කීපයක් ගමන් බෑගයක ඇසිරුවා ය. ඉක්මනින් ආපසු එන බවට පොරොන්දු වෙමින් කුඩා දරුවාව සිප ගත්තා ය. උපස්ථායිකාවකට දරුවාව බාර දුන් ඇය ඔහු ව හොඳින් බලාගන්නා ලෙස උපදෙස් දුන්නා ය. අනතුරුව විගස දුම්රිය පොළට ගොස් දුම්රිය පිටත්වීමට විනාඩි තුනකට පෙර දුම්රියට ගොඩ වූවා ය.
ධනු සහ කුඩා දරුවා ගැන සිතමින් ඇය නිහඬ ව ම කඳුළු සැලුවා ය. ධනුගේ ශල්‍යකර්මය සාර්ථක වේවායි දෙවියන් යැද්දා ය.
එදින සන්ධ්‍යාවේ තම නේවාසිකාගාරයට පියා පැමිණෙනු දැකීමෙන් දරුණි මවිතයට පත්වූවා ය. ඇය දෑත් ඔසවා තම පියා පිළිගෙන කතා කළා ය.
“තාත්ත කොයි වෙලාවද ආවෙ?”
“ඊයේ දවල්. ඇයි?”
“මං හිතුවෙ එන එකක් නැහැ කියල. ඇයි කෙළින්ම මාව බලන්න ආවෙ නැත්තෙ? තාත්තෙ”
“මට පරණ යාළුවෙක් ව මුණ ගැහුණා. පොඩ්ඩක් විවේක ගත්තා. එයා මාව මුහුදු වෙරළට එක්ක ගියා. තව හුග වෙලාවක් තියෙනවනෙ”
“ඔව් මං හිතුවා. ඒත් තාත්තෙ ධනු අද උදේ හොඳට ම ඇඬුවා තාත්තවත් අම්මවත් එයාව බලන්න ආවෙ නැහැ කියල. ඒත් අපි දන්නව අද එන්න කෝච්චියක්වත් ගුවන් යානාවක්වත් නැති බව. ඒත් අද ලැම්පැන්ග්වල ඉඳල දුම්රියක් පිටත් වෙනවා. ධනු කිව්වා එයා ව ශල්‍යකර්මයට ගන්න වෛද්‍යවරුන්ට අත තියන්නවත් දෙන්නෙ නැහැ කියලා. ඒ නිසා මම අම්මට ටැලිෆෝන් කළා.”
කැමිජෝන් සැහැල්ලු ලෙස සිනාසුණේය. “කමක් නැහැ දුවේ ඔයාගෙ අම්ම දන්නව දැන් මම මෙහෙ කියල. අපි ගිහින් ධනු ව බලමු”
එදින රාත්‍රියේ කැමිජෝන් තම හෝටලයට වී සතුටින් සහ සැහැල්ලුවෙන් නිදා ගත්තේ ය. තමා ව දුටු විට ධනුගේ මුහුණ දීප්තිමත් වන අයුරු ඔහු දුටුවේ ය. එදින සන්ධ්‍යාවේ පට්ටයා මුහුදු වෙරළේ ගත කළ පී‍්‍රතිමත් සන්ධ්‍යාව ද ඔහුට සිහිපත් විය. ශල්‍යකර්මයට තව වේලාව ඇත.
බොරුවට කලබල වෙනවා ගෑනුන්ගේ හැටි කැමිජෝන් සිතුවේ ය.
පසුදින උදෑසන බැංකොක්හි හොඳ ම රෝහලේ ශල්‍යාගාරය ඉදිරිපිට කැමිජෝන් තම කුඩා පුත්‍රයාගේ අතකින් අල්ලා ගෙන සිටියේ ය. ශල්‍යකර්මයෙන් ධනුගේ දෙපා සකස් කළ විට ඔහුට ඇවිදීමට හැකි වනු ඇති බවත් එය කෙතරම් පුදුමාකාර දෙයක් ද යන්නත් ඔහු විස්තර කළේ ය. නිර්වින්දන කාලය අවසන් වීමෙන් පසු වේදනාවක් ඇතිවිය හැකි වුවත් අන්තිමේ එය සතුටට හේතුවක් වනු ඇති බවත් හේ පැහැදිලි කළේ ය.
“පොඩ්ඩක් හිතන්න අම්මට ඔයාව එහෙ මෙහෙ එක්ක යන්න පුළුවන් වෙන එක ගැන. අම්මත් එන්නයි හිටියෙ මගෙ පුතේ. ඒත් අපි දෙන්නගෙන් එක්කෙනෙක් එන්න තීරණය කළා. ඔයාගේ පුංචි මල්ලි ව බලාගන්න කවුරුහරි දෙන්නගෙන් කෙනෙක් ඉන්න ඕනෙනෙ”
“තාත්තා මේ ශල්‍යකර්මයෙන් පස්සෙ මට ගෙදර යන්න පුළුවන් ද? දැන් මම මෙහෙ ඇවිල්ලා අවුරුද්දක් විතර වුණා නේද? මම හුඟ කාලයක් අම්මගෙන් ඈත්වෙලා හිටියා. අනික තාම මම මල්ලි ව දැක්කෙත් නැහැ”
“පුතාට හිරිහැරයක් නැත්නම් ඒ වගෙම දොස්තරලා ඉඩ දෙනව නම් සහතික ව ම එක්ක යනව පුතේ”
“අම්ම අද ඒවි” ධනු බලාපොරොත්තුවෙන් මිමිණුවේ ය. “තාත්ත දන්නවද දරුණි ඊයෙ ගෙදරට ටැලිෆෝන් කළා. දරුණි මට කිව්වා අම්මත් ඒවි කියලා”
කැමිජෝන් තම පුතාගේ සිහින් වූ කකුල ඔහුගෙ උකුල මත තබා අත ගෑවේ ය.
“හොඳයි අම්ම ඒවි. ඒත් මට සැකයි පුංචි බබා නිසා. කොහොමහරි අම්ම ආවොත් අපි හතරදෙනා කව්බෝයි චිත්‍රපටයක් බලමු”
“ආ... තාත්තා... තාත්තා හරි හොඳයි. අම්මත් ඒවි කියල මම හිතනවා. ඔපරේෂන් එකෙන් පස්සෙ අම්මත් හිටියොත් මට හරි සතුටුයි”
උබෝලි මෙණෙවිය රෝහල් සේවකයකුත් සමඟ පැමිණියේ ය. රෝහල් සේවකයා ගිලන් ඇඳක් ඇදගෙන ආවේ ය. ධනු තම පියාගේ අතකින් අල්ලාගෙන තල්ලු කරගෙන යන ගිලන් ඇඳට වී සිටියේ ය. තමනට යා හැකි දුර දක්වා ඔහුගේ පියා ගමන් කළේ ය. ඔහු ආපසු හැරුණේ ධනු ව ශල්‍යාගාරය තුළට ගෙන නොපෙනී ගිය පසු ය.
හදිසියේ ම ඔහුගේ අවධානය යොමු වූයේ තමා වෙත එන තරුණ හෙදියන් දෙදෙනා වෙතයි. ඔව්හු දුම්රිය අනතුරක් ගැන කතා කරමින් සිටිති. එදින මධ්‍යාහනයේ බැංකොක් නගරයට උතුරේ සිට පැමිණිමට නියමිත ව තිබු දුම්රිය ඊට පෙර දින සවස අනතුරට පත්වී ඇත.
නොතේරෙන හේතුවකින් කැමිජෝන් ගේ හදවත රිදුම් දෙන්නට විය. විදුලි සැර වැදුණ කලක මෙන් ඔහුගේ සිතිවිලි ඔහුගේ බිරිය වෙත යොමු විය. හේ හෙදියන් වෙත ගොස් අනතුරින් මරණ සිදුව තිබේදැයි විමසුවේය.
“මරණ?” හෙදියක් ආචාරශීලී ලෙස විමසුවා ය. “ඔව් ගුවන් විදුලියෙන් කිව්වෙ මරණ පනහක් විතර කියල. ඉන් විසිතුන් දෙනෙක් ම අඳුනගෙන. අද පත්තරේ අරන් බලන්න. ඒ අයගෙ නම් ලැයිස්තුව තියෙනවා”
මගේ බිරිය? ඇය ඒ ශීඝ්‍රගාමී දුම්රියේ හිටියානම්? ඒ විසිතුන්දෙනා අතර ඇගේ නමත් තිබුණොත් මම මොකද කරන්නෙ? හේ බියෙන් සලිත විය. ඒ අසල ඇති කාමරයේ පුවත්පත ඇති බව හෙදිය පැවසූ පසු හේ භීතියෙන් යුතුව එම ස්ථානයට ගොස් පුවත්පත කියවන්නට විය.
කැමිජෝන්ගේ සිහි විසඥ සිරුර වෛද්‍යවරියකට දක්නට ලැබිණ. ඇය ඔහු ව හදිසි ප්‍රතිකාර ඒකකයට රැගෙන ගොස් කම්පනයට ප්‍රතිකාර ලබා දුන්නාය. සිහි එළඹි හේ විලාප දෙමින් සිය දිවි තොර කරගැනීමට උත්සාහ කළේ ය.
ඔහු ව හෙදියකගේ සහ හැඩිදැඩි සේවකයකුගේ ආරක්ෂාව යටතේ තබනු ලැබීය.
දුම්රිය අනතුර සහ තම බිරිය මියගිය බව දැනගෙන සිහි විසඥ වූ මිනිසා පිළිබඳ ප්‍රවෘත්තිය රෝහල පුරා පැතිර ගියේ ය. උබෝලි මෙණෙවිය පැමිණ ඒ තැනැත්තා දෙස එක් වරක් බැලුවා ය. කැමිජෝන්ගේ අවුල් වූ හිසකෙස් දැක ඕ කම්පා වූවා ය. පුංචි ආබාධිත පිරිමි දරුවා පිළිබඳ ව ඇගේ හදවතේ සියුම් වේදනාවක් හට ගත්තේය. ඔහු දැඩි ලෙස ආබාධිත ව සිටිනවා පමණක් නොවේ. ඔහුට අවශ්‍ය ම වූ මොහොතේ ඔහුගේ මවත් අහිමිව ගොසිනි. කොයි මොහොතේ හෝ ශල්‍යාගාරයෙන් පිටතට ගෙන එන තම ආබාධිත පුතා ගැන සිතා ධෛර්ය උපදවා ගන්නා ලෙස උබෝලි මෙණෙවිය කැමිජෝන් ගෙන් ඉල්ලා සිටියා ය. අන්තිමේ ඔහු ව සැනසීමට ඇය දැරූ උත්සාහය සාර්ථක වූ අතර දරුවාගේ ශල්‍යකර්මය සාර්ථක වූ බව දන්වන ප්‍රවෘත්තිය ද අසන්නට ලැබිණ.
තම පුතා පියවි සිහිය ලබන තුරු කැමිජෝන් නොඉවසිල්ලෙන් බලා සිටියේ ය. පාදයට වෙලුම් පටි යොදා ගිලන් ඇඳක හොවා පිටතට ගෙන එනු ලැබු මැලවුණ මුහුණින් යුතු දරුවා දෙස බලමින් කැමිජෝන් ඒ වෙත දිව ගොස් වැලපුණේ ය.
ඔහුගේ කම්මුල් දිගේ කඳුළු ගලා ගියේ ය. ඔහු හිස ඔසවා තිගැස්සි ප්‍රහේලිකාවකට මැදිවූ කලක මෙන් බැලුවේ ය.
“මොකද වුණේ? තාත්තේ”
“මුකුත් නැහැ පුතේ මුකුත් නැහැ”
“තාත්තට හොඳට ම විශ්වාස ද? තාත්තෙ”
“ඔව් ඔව් ඔයාට මොනවද දැනෙන්නෙ පුංචි පුතේ”
නැඟී එන වේදනාව මර්දනය කර ගනිමින්දරුවා මිනිසකු මෙන් සිටීමට උත්සාහ කළේ ය.
“ඒක එච්චර නරක නැහැ තාත්තෙ ඇත්තට ම”
අනතුරුව දරුවා අවට බැලුවේ ය. “අම්ම කෝ? තාම ආවෙ නැද්ද?”
“නැහැ”
“තාත්තට විශ්වාස ද? තාත්තෙ”
“ඔව් පුතේ ඇයි එහෙම අහන්නෙ”
“මම තියටර් එකෙන් පිටතට එනකොට මට යාන්තමින් ඇහුණා දුම්රිය අනතුරක් ගැන මිනිස්සු කතා වෙනවා. උතුරෙ ඉඳල එන දුම්රිය ගැන. හුඟ දෙනෙක් මැරුණලු. දරුණි මට කිව්වා අම්ම එන්නෙ ඒ දුම්රියෙ කියල. ඒකයි මම කරදර වුණේ”
“ඒත් අම්ම ආවෙ නැහැ පුතේ අම්ම ආවෙ නැහැ”
“තාත්තට හොඳට ම විශ්වාස ද? තාත්තෙ”
“මම හොයල බැලුව පුතේ හොයල බැලුව“
“එතකොට අම්ම ඒ කෝච්චියෙ ඇවිල්ල නැහැ”
“නැහැ ඇවිල්ල නැහැ”
“එහෙනම් අම්ම මැරිල නැහැ”
“නැහැ මගෙ පුතේ නැහැ”
කැමිජෝන් දරුවගේ ඔළුවේ මුහුණ ඔබාගෙන වැලපෙන්නට පටන් ගත්තේ ය. දරුවා සිතා සිටියේ තම පියා වැලපෙන්නේ සතුට නිසා බවයි. තම කම්මුල් දිගේ ගලා වැටෙන කඳුළු සමඟ ඔහු සතුටින් ඉකි ගැසුවේ ය.
“දෙවියන්ට ස්තුති වේවා! මගෙ අම්ම මැරිල නැහැ”
https://archives.silumina.lk/punkalasa/20110911/_art.asp?fn=ar1109112
42
- ඇරැව්වල නන්දිමිත්‍ර
පද්මල් අවට ගම්වල පවත්වන අවුරුදු උත්සව බලන්නට ගියේ ය. ඔහු එමඟින් ලැබුවේ අපූරු සතුටකි. සිය උපන් ගම වූ මල්දෙණියේ ද අවුරුදු උත්සවයක් පවත්වන්නට ඇත්නම් කොපමණ හොඳ දැයි ඔහුට නොයෙක් වර සිතිණ. එසේ අවුරුදු උත්සවයක් පැවැත්වුවහොත් ගමේ සැමට එක් ව සතුටුවීමට අවසථාවක් උදා වනු ඇත.
අවුරුදු උත්සවය පැවැත්වීමට සුදුසු ස්ථානය වන්නේ මල්දෙණිය පාසලේ ක්‍රීඩා පිටියයි. එහි පවත්වන අවුරුදු උත්සවය ඔහු ගේ මනසෙහි සිත්තම් වන්නට වූයේ විචිත්‍රාකාරයෙනි. ගම හරහා දුවන්නෝ ය. ලිස්සන ගහ නඟින්නෝ ය. කොට්ට පොර ගසන්නෝ ය. කඹ අදින්නෝ ය. පොල් අතු වියන්නියෝ ය. පොල් ගාන්නියෝ ය. සංගීත පුටු තරඟකරුවෝ ය. බයිසිකල් ධාවනකරුවෝ ය. ඔවුන් මල්දෙණිය හන්දිය අසල මහ කන්ද සහිත මාර්ග කොටසේ බයිසිකල් පැද යන්නේ ඊතල සදිසි වේගයෙනි. මේ සියලු තරඟකරුවන් වටකොටගෙන ජයගොස නඟන ගම්වැසියෝ ය. ගම්වැසියන්ට සිය ජීවිත වෙලාගෙන පවත්නා දුක්ඛ දෝමනස්සයන් මොහොතකට අමතක වී ගියා සේ ය. එක දවසකට හෝ ඔවුන් මුවඟ මැවෙන සොඳුරු සිනාවන් ය.
අවුරුදු කුමාරි තේරීමේ තරගය වඩාත් විචිත්‍ර ලෙස පද්මල් ගේ මනසෙහි සිත්තම් වන්නට විය. මේ සඳහා ගම්වැසි නව යොවුන් තරුණියෝ සහභාගි වෙති. රෙද්ද හා හැට්ට ඇඳුමෙන් සැරසී මුවඟ සිනා නංවා කරළිය මතට පිවිස සිටින විට ඔවුන් කෙරෙන් පළ වන්නේ වෙනදා නැති සුන්දරත්වයකි. මේ වන විට තමා බෙහෙවින් ප්‍රිය කරන තරුණියක බවට පත්ව සිටින දයානි ද මේ තරගයට ඉදිරිපත්වීමට ඉඩ ඇත. අවුරුදු කුමාරි තරගයේ ජයග්‍රහණය ඇයට හිමිවීමට පවා ඉඩ තිබේ. පද්මල් ගේ සිතෙහි ඇති වන්නේ උද්දාමයකි.
මල්දෙණියේ ද අවුරුදු උත්සවයක් පැවැත්විය යුතුය යන අදහස තිර ලෙස පද්මල් ගේ සිතෙහි තදින් කාවැදිණ. ඔහු සම වයසේ තරුණයන් කිහිප දෙනකු සමඟ මේ ගැන කතා කෙළේ ය.
”අනේ අපිට නම් ඕවාට එන්න වේලාවක් නැහැ. ආධාර එකතු කරන්න ගම පුරාම ගෙයක් ගානෙ යන්න වෙනවා. එතකොට එපා වෙනවා. පොඩ්ඩ එහා මෙහා වුණාම කතන්දර අහන්නත් වෙනවා”
”මොකද පද්මල්ටත් ගාණක් හොයාගන්න හිතුණ ද? තියෙන වැඩ කරගන්න බැරුව ඉන්දැද්දි අපිට කොහෙද ඕවාට වෙලාවක්”
”ගම්වල ඕවා කරන්න ලේසි නැහැ. හොස්ස ළඟින් මැස්ස යන්න බැහැ. සමහර මිනිස්සු පිහිය ඇදගෙන එන්නෙ. මතක නැද්ද දැනට අවුරුදු දෙක තුනකට කලින් අල්ලපු ගමේ අවුරුදු උත්සවයේදී කඹ අදින්න ගිහිල්ලා ගහගත්ත හැටි”
පද්මල් කතා කළ අයගෙන් ලැබුණේ මෙවන් පිළිතුරු ය. ‘මේගොල්ලො හැමදෙනාම කතාකරන්නෙ බැහැයි කියන පදනමේ ඉඳලා. ඒ වුණාට පහුබහින්න නරකයි.' මල්දෙණියේ අවුරුදු උත්සවයක් පැවැත්විය යුතුය යන අදහස ඔහු කෙරෙන් ඉවතට නොගියේ ය. ‘මේ ගැන කතාකරන්නට හොඳ ම පුද්ගලයා තමයි ජනදාස මාමා’ පද්මල්ට ගම්වැසි තවත් පුද්ගලයකු ගැන සිහිපත් විය.
ජනදාස ගමේ හෝ පන්සලේ කෙරෙන්නා වූ හැම පොදු කටයුත්තකට ම උනන්දුවෙන් සහභාගි වූයේ ය. ගමේ කවුරුත් පාහේ ඔහු කෙරෙහි දැක්වූයේ ප්‍රසාදයකි. ඔහු අවිවාහක ය. ගෙවූයේ හුදෙකලා දිවියකි. ඔහු ජීවත් වූයේ වෙල්යායට නොදුරින් පිහිටි ඔහු ගේ ම ඉඩමක පිහිටි කුඩා නිවසක ය. වත්ත පුරා ඔහු කළ ගොවිතැන් ය. ඔහු වඩාත් ආසාවෙන් කළේ බුලත් ගොවිතැන ය. ඔහු ගේ ඉඩමෙහි සරුවට වැවුණු බුලත් පාත්ති කිහිපයක්ම විය. එමඟින් ඔහුට ප්‍රමාණවත් ආදායමක් ලැබිණ.
”ජනදාස මොන වැඩේ කළත් පිළිවෙළකට කරනවා. ගොවිතැන් වැඩ වුණත් එහෙම තමයි.”
”ජනදාස කවදාවත් නැති බැරිකම් කියලා කාටවත් අතපාන්න යන මනුස්සයෙක් නෙවෙයි. කාට වුණත් පුළුවන් තරමින් උපකාර කරන්න පසුබට වෙන්නෙත් නැහැ”
”ජනදාස කාලයක් මොකක් දෝ කොම්පැණියක වැඩට ගියා. එක එක්කෙනා යටතේ වැඩ කරන්න බැහැ කියලා ඒකෙන් අස්වුණා. එයා බොහොම නිදහසේ ජීවත්වෙන්න කැමැති මනුස්සයා”
ජනදාස ගැන ගම්වැසියන් ගේ මුවින් මෙවන් වදන් ගිලිහිණ. කවුරු මොනවා පැවැසුවත් ඔහු කිසිවක් එතරම් ගණනකට නොගත්තේය. හෙතෙම පුරුදු පරිදි ජීවිතය ගෙන ගියේය.
දිනක් සවස බුලත් පාත්තිවලට වතුර දැමීම අවසන් කළ ජනදාස නිවසේ ඉස්තෝප්පුවට පිවිසියේ ය. කවුදෝ නිවස දෙසට එනු ඔහුට පෙනිණ. ඔහු ඕනෑකමින් ඒ දෙස බැලීය. පැමිණි පුද්ගලයා නිවසට ආසන්න විය.
”අපේපේ .... මේ පද්මල් පුතානෙ. එමු.. එමු.. වාඩිවෙන්න”
ජනදාස කතා කළේ සිනාමුසු මුහුණෙන් යුතුවය. ඉස්තෝප්පුවට ගොඩවූ පද්මල් අසුන් ගත්තේ ය.
”ඉතින් කොහොමද ජනදාස මාමේ සැප සනීප?”
”කියන්න වරදක් නැහැ.... මම තේ කහට ටිකක් හදන්නම්. අපි තේ කහට ටිකක් බීලා ඉම්මු.”
දැන් තේ හදන්න කරදර වෙන්න එපා. මම තේ එකක් බීලා වැඩි වෙලාවක් නැහැ.”
”එහෙම නම් පද්මල් පුතා නිකමට මේ පැත්තෙ ආව ද? නැත්නම්...?”
ජනදාස පද්මල් ගේ මුහුණ දෙස බැලුවේ ය. පසෙකින් වූ පුටුවක වාඩි වූයේය. බැස යන හිරුගේ රැස් දහරෙන් බිඳක් ඉස්තෝප්පුව දෙසට විහිද තිබිණ. පරිසරයෙහි වූයේ දැඩි නිසලතාවකි. ඒ අතරින් පද්මල් ගේ කට හඬ මතු විය.
”මම ජනදාස මාමා මුණගැහෙන්න ආවේ වැදගත් උවමනාවක් ගැන කතා කරන්න හිතාගෙන”
”ඒ මොකක් ගැන ද?”
”දැන් බලන්න අවට ගම් හැම එකක ම වගේ අවුරුදු උත්සව කරනවා. අපේ ගමෙත් එහෙම දෙයක් කරනවා නම් කොච්චර හොඳ ද කියලා මට හිතෙනවා. ජනදාස මාමා මේ ගමේ හැම පොදු වැඩකට ම සම්බන්ධ වෙනවා. ඇයි ඉතින් අවුරුදු උත්සවයක් කරන්න ඉදිරිපත් නො වන්නෙ? මට හිතෙන්නෙ මෙහෙම දේකට මුල් වෙන්න හොඳ ම කෙනා ජනදාස මාමා කියලයි. මමත් හරි ආසාවෙන් ඉන්නෙ අවුරුදු උත්සවයක් කරන්න. අපිත් අවුරුදු උත්සවයක් කරමු ජනදාස මාමේ.
”අවුරුදු උත්සවයක් නේ ද...? මේ ප්‍රදේශයේ ගමක මුලින් ම අවුරුදු උත්සවයක් කළේ අපි පද්මල් පුතේ... ඒ වුණත්...”
ජනදාස සුසුමක් හෙළී ය. ඔහු ගේ මුහුණෙහි වූ ප්‍රසන්න ස්වභාවය යටපත් කරගෙන අඳුරක සේයා විසිර ගියාක් මෙන් විය. පද්මල්ට ද මේ බව පෙනිණ. ඔහු ගේ සිතෙහි ඇති වූයේ කුකුසකි.
”ජනදාස මාමෙ, මගෙන් අනවශ්‍ය වචනයක් වත් කියවුණා ද?”
”නැහැ.. නැහැ.. එහෙම දෙයක් කියවුණේ නැහැ.”
ජනදාස තව සුළු වෙලාවක් නිහඬව සිටියේ ය. සුරතින් මුහුණ පිසදැමී ය. ඉන්පසු ඔහු කතා කරන්නට වූයේ සෝබර ස්වරයකනි.
”මේ කතාව පද්මල් පුතා දැනගන්න විධියක් නැහැ. ඔයගොල්ලන් ගේ තාත්තලා පස්සෙ කාලෙක ඉඩම් අරගෙන මෙහෙ පදිංචි වෙච්ච අය. අනික් එක මේ සිද්ධිය වෙනකොට පද්මල් පුතා ඉපදිලාවත් නැහැ. එතකොට මගේ හොඳ තරුණ කාලෙ. මටත් හිතුණ අවුරුදු උත්සවයක් කරන්න ඕනෑ කියලා. පද්මල් පුතාට මතක ඇතිනෙ බොහොම දුක් විඳ විඳ ඉඳලා මෑතකදි මැරිලා ගිය විල්සන්. මිනිහා අන්තිමට එයාගෙ ම දරුවන් ගෙනුත් ගුටිකෑවා. විල්සන් ඒ කාලෙත් කළේ කසිප්පු පෙරනවා වගේ වැඩ තමයි.
"මම ඒ වැඩට විරුද්ධ ව තමයි ඒ කාලෙත් කටයුතු කලේ. දවසක් ඔය ගැන කතාවක් ඇති වෙලා මිනිහා මාත් එක්ක බොහොම තරහෙන් හිටියේ. මිනිහා හිතුවක්කාර කසාදයක් කරගෙන ගෑනි ගේ ගෙදර තමයි නතර වෙලා උන්නෙ. තමන් ගේ ගෙදර පළාතේ ගියේ නැහැ. විල්සන්ට නංගී කෙනෙක් හිටියා රම්‍යලතා කියලා. රම්‍යලතායි අම්මයි බොහොම උත්සාහයෙන් වැඩ කරල තමයි ජීවිතය ගෙන ගියේ. විල්සන් ඒ දෙන්නට කිසි උපකාරයක් කළේ නැහැ. මිනිහා බීලා ඉන්න වෙලාවට ඕනෑ නරක වැඩක් කරන්න පොලඹවා ගන්න පුළුවන්. සමහරු ඒ දුර්වල කමෙනුත් ප්‍රයෝජන ගත්තා.
”රම්‍යලතාට තිබුණෙ හරි ම සිරියාවන්ත පෙනුමක්. මගේ හිත පුදුම විධියට රම්‍යලතා ගැන ඇදිලා යන්න පටන් ගත්තා. රම්‍යලතා හමු වුණු වෙලාවට මම ඇයත් සමඟ කතා කළේ බොහොම සතුටෙන්. ඇයත් මා සමඟ සුහද ව කතා කළා. විල්සන් එක්ක තියෙන අමනාපය ගැන අපි දෙන්නගෙන් එක්කෙනෙක් වත් නිකමට වත් මතක් කළේ නැහැ. ඒ අමනාපය ගැන සත පහකට වත් මායිම් නොකර තව ටික දවසකින් රම්‍යලතාට විවාහ යෝජනාවක් කරන්නයි මම හිතගෙන හිටියේ. රම්‍යලතා ඒකට කැමති වෙන බව මට හොඳට ම විශ්වාසයි.”
”ඔන්න ඔය අතරෙදි තමයි මම මුල්වෙලා පළමුවතාවට අපේ ගමේ අවුරුදු උත්සවයක් සංවිධානය කළේ. යාළුවෝ කිහිප දෙනෙක් ම මේ කටයුත්තට මට එකාවගේ උදවු කළා. මට ඕනැ කළා මේ උත්සවයට අවුරුදු කුමාරිය තේරීමේ තරගයකුත් ඇතුළත් කරන්න. ඒ කාලේ වන කොට අවුරුදු කුමාරි තරගයට එහෙමට පිරිසක් ඉදිරිපත් වුණේ නැහැ. ගෙවල්වලට ගිහිල්ලා කියලා තමයි කිහිප දෙනෙක් එක් කර ගන්නෙ. මගේ හිතේ ආසාවක් ඇති වුණ රම්‍යලතා වත් මේ තරගයට ඉදිරිපත් කරන්න. මම ඇය හමු වන්න ගෙදරට ගියා.
”රම්‍යලතාට ආරංචි ඇතිනෙ අපි අවුරුදු උත්සවයක් කරන්න යන බව.”
”ඔව්... ඔව්.... ආරංචියි.”
”ඔයා මොක ද කියන්නේ අපි කරන්න යන මේ වැඩේ ගැන.”
”කොච්චර හොඳ ද? හැම දෙනාට ම සතුටු වෙන්න පුළුවන්.”
”එහෙම නම් ඔයා මම කියන මේ කාරණේට කැමති වෙන්න ඕනැ.”
”මොකක් ද කියලා කිව්වා නම් බලන්න.”
”අපේ අවුරුදු උත්සවයට අවුරුදු කුමාරි තේරීමේ තරගයකුත් තියෙනවා. නොවරදවා ම රම්‍යලතා ඒ තරගයට ඉදිරිපත් වෙන්න ඕනෑ.”
”අනේ, ජනදාස අයියේ, ඒක නම් කරන්න මට බැහැ. මට හරි ලජ්ජයි. අනිත් එක ඔහොම දේකට ඉදිරිපත් වෙන්න මගේ මොන ලස්සනක් ද?”
”මට නම් ඔයා පේන්නෙ හරි ම ලස්සනට. රම්‍යලතා අවුරුදු කුමාරි වශයෙන් තේරෙනවා කියලත් මට නම් හොඳට ම විශ්වාසයි.”
”ඒ වුණාට මට කරන්න බැරි වැඩක් ජනදාස අයියෙ. මම මෙහෙම දේකට ඉදිරිපත් වෙනවට, අපේ අම්මත් කොහොමට වත් කැමැති වෙන එකක් නැහැ.”
”මම අම්මා එක්ක කතා කරලා කැමැත්ත ලබා ගන්නම්. ඔයාට මේ වෙනුවෙන් ඕනෑ කරන ඇඳුම් සේරම මං ගාණෙ ලබා දෙන බවටත් මම පොරොන්දු වෙන්නම්..”
මම රම්‍යලතා ගේ අම්මා සමඟ කතා කරලා මේ සඳහා කැමැත්ත ලබා ගත්තා. රම්‍යලතාට තවදුරටත් බැහැයි කියන්න බැරුව ගියා. අන්තිමට ඇය මගේ ඉල්ලීමට කැමැති වුණා. ඊට පස්සෙ අපි දෙන්නා අතරේ තිබුණු හිතේසිවන්ත බව වඩ වඩාත් වර්ධනය වුණා. වඩාත් ප්‍රබෝධයකින් යුතුව අපි අවුරුදු උත්සවයේ කටයුතු සංවිධානය කරන්න පටන් ගත්තා.
නියමිත දවස උදා වුණා. අවුරුදු උත්සවය පැවැත්තුවා. හැම තරගයක් ම වගේ සාර්ථක අන්දමින් කරගෙන යන්න පුළුවන් වුණා. ඉස්කෝලෙ පිට්ටනිය පිරෙන්න තරම් සෙනඟ. අවුරුදු කුමාරි තේරීමේ තරගය පැවැත්තුවේ සවස අන්තිමට. තරුණියෝ පස් දෙනෙක් තමයි තරගයට ඉදිරිපත් වුණේ. පැමිණ සිටි හැම දෙනා ම පාහේ ගෙල දිගු කරගෙන නොඉවසිල්ලෙන් බලාගෙන හිටියේ කවුරු ජය ගනියි ද කියලා දැන ගන්න. තරගකාරියන් පස් දෙනා අතරින් වඩාත් ලස්සනට කැපිලා පෙනුණෙ රම්‍යලතා.
‘රම්‍යලතා අවුරුදු කුමරිය වශයෙන් තේරේවා’ කියන පැතුම මගේ හදවතේ ගුළි ගැහිලා තිබුණා. වෙන කවදාවත් නැති තරම් සුන්දර ආකාරයට මට රම්‍යලතා පෙනෙන්නට වුණා. මම ඇය දෙස බලාගෙන සිටියේ පුදුමාකාර සතුටකින්. හරියට ම හඳ දිහා බලාගෙන ඉන්න දරුවෙක් වගේ. ඇය විවාහ කර ගන්න ලැබුණොත් මොන තරම් වාසනාවක් ද කියලා මට හිතුණා. රම්‍යලතාත් හරි ම සතුටෙන් ඉන්න බව පෙනුණා.
”....... ඔබ හැම දෙනා ම අවුරුදු කුමාරි තේරීමේ තරගයේ ප්‍රතිඵල දැන ගන්නට නොඉවසිල්ලෙන් බලාගෙන සිටින බව අපි දන්නවා. විනිශ්චය මණ්ඩලයේ නෝනාවරු සහ මහත්වරු සිය කාර්යය වගකීමකින් යුතුව ඉටු කරමින් ඔවුන් ගේ තීරණය අප වෙත ලබාදී තිබෙනවා. අප දැන් සූදානම් වන්නේ එම ප්‍රතිඵලය තමුන්නාන්සේලා හමුවේ තැබීමටයි.....”
අවුරුදු උත්සවයේ නිවේදන කටයුතු භාරව කටයුතු කළ ජයවර්ධන ඉස්කෝලේ මහත්තයා ගේ කටහඬ ශබ්ද විකාශන යන්ත්‍රය ඔස්සේ විහිද ගියා. තරගකාරියෝ පස් දෙනා වේදිකාවේ පෙළට හිටගෙන හිටියා. එහෙත් ප්‍රතිඵල කියන්නට ලැබුණේ නැහැ. සෙනඟ අතරින් මතු වුණු විල්සන් එක පාරට ම වේදිකාවට ගොඩ වුණා. ඔහු හිටියේ බීමතින්. මොකද වෙන්නේ කියලා කාටවත් හිතා ගන්න වත් ඉඩක් ලැබුණේ නැහැ.
”තොට ලජ්ජාවක් කියලා දෙයක් නැද්ද බොල අපිට නින්දා කරන්න මේවට එන්නෙ. තෝ අපේ මැරිච්ච තාත්තාටත් නින්දා කරනවා. එක එක පාහරයෝ ලැහැස්ති කරන ජරා වැඩට තෝ ආවේ කාගෙන් අහල ද?”
රම්‍යලතාට බැණ වැදුණු විල්සන් ඇගේ කම්මුලට ගැහුවා. රම්‍යලතා හඬාගෙන වේදිකාවෙන් බිමට පැන ගත්තා. ගෙවල් තිබෙන පැත්තට දුවන්න පටන් ගත්තා. රම්‍යලතා ගේ අම්මාත් ඒ පස්සෙන් ම දුවගෙන ගියා. සේරට ම කලින් මට අවශ්‍ය වුණේ විල්සන් ගේ කම්මුල හරහා හොඳ පහරවල් තුනහතරක් දෙන්න. එහෙත් මට කලින් සංවිධායක යාළුවෝ තුන් හතර දෙදෙනෙක් විල්සන්ට පැනලා දුවනකම්ම පහර දුන්නා. මගේ හිතේ ඇති වුණේ පුදුමාකාර නොසන්සුන් බවක්. මම සංවිධාන කටයුතුවලට සම්බන්ධ යාළුවකුට මෙහෙම කිව්වා.
”මම රම්‍යලතාගේ ගෙදරට ගිහිල්ලා ඇගේ හිත සැනසෙන විධියට වචනයක් දෙකක් කියලා එන්නම්. රම්‍යලතාට වුණු මේ කරදරයට මමත් වග කියන්න ඕනැ. අනික් යාළුවොත් එක්ක කතා කරගෙන අවුරුදු උත්සවයේ කටයුතු අවසන් කරන්න පිළිවෙළක් යොදන්න.”
”ඒක නම් අපි කරන්නම්. ඒ වුණාට ජනදාස අයියා මේ වෙලාවේ රම්‍යලතා ගේ ගෙදරට යන්න එපා. විල්සන් නයා වගේ වෛරෙන් ඉන්නෙ.”
”මොන දේකට මුහුණ දෙන්න සිද්ධ වුණත් මට මේ ගමන නො ගිහින් ඉන්න බැහැ.”
මම වහ වහා රම්‍යලතාගේ ගෙදර දෙසට යන්නට පටන් ගත්තා. ගෙදර දෙසට ළංවෙන කොට මට අහන්න ලැබුණේ රම්‍යලතා ගේ අම්මා ගේ විලාප හඬ. වෙච්ච නින්දාව උහුලා ගන්න බැරුව රම්‍යලතා වතුර බොන ළිඳට පැනලා. ඒ ළිඳ හරි ගැඹුරුයි. බොහොම අමාරුවෙන් ඇය ගොඩ අරගෙන ඉස්පිරිතාලෙට ගෙනිච්චා. එහෙත් පලක් වුණේ නැහැ. ඒ බිහිසුණු දර්ශනය ගැන මම දිගින් දිගට ම කතා කරන්නවත් කැමැති නැහැ.
රම්‍යලතා ගැන සිහිවෙන කොට අදත් මගේ හිතට ඇති වන්නේ දරා ගන්න බැරි වේදනාවක්. අවුරුදු කුමාරි ඇඳුමෙන් සැරසුණු ඇගේ ලස්සන රූපය මේ මොහොතෙත් මා ඉදිරියේ මැවිලා පේනවා. මගේ ඉල්ලීම ඉටු කරන්න ගිහිල්ලා රම්‍යලතා ජීවිතය පුද කළා. මම මගේ ජීවිතය ඇය වෙනුවෙන් කැප කළා.”
ජනදාස පැවැසූ වදන් මාලාවට පද්මල් සවන් යොමා සිටියේ දැඩි ඕනෑකමිනි. ‘ජනදාස මාමා ගේ හිත සැනසෙන විධියට මොනවා හරි කියන්න පුළුවන් නම් හොඳයි. එහෙත් මොනවා නම් කියන්න ද කියලා මට හිතා ගන්න බැහැ.’ පද්මල් නිහඬ ව ජනදාස දෙස බලා සිටියේ ය. ඔහු ගේ දෑස කඳුළෙන් තෙත්ව ඇති අන්දම පද්මල්ට දක්නට ලැබිණ.
https://archives.silumina.lk/punkalasa/20110424/_art.asp?fn=ar1104243
සමන්ත හිටියේ ගෙට ම ඈඳා තනන ලද රෙපයාර් කාමරය අස්-පස් කරමිනි. ඊයේ සිට එයට වෙහෙසුණත් තවමත් කෑලි-බෑලි බිම, මේසෙ උඩ. පොඩි නංගි කාමරයේ දොර ළඟ හිට ගෙන. අවුරුද්දට සාප්පු සවාරියට මුදල් ලැබෙන තුරු. කිව්වෙ නම් ගෙදරට අඩුවැඩිය ගන්ඩ තියෙනවා කියලා. ස්ටයිල් කරන්ඩයි අඩු වැඩිය ගන්ඩයි විදුලි, ටෙලිෆෝන් බිල් ගෙවන්ඩයි කෝකටත් සමන්තගෙ පඩිය. “අප්පචිටත් සරමකුයි කමිසෙකුයි ගන්නවා” කියමින් සමන්ත ඇයට රුපියල් දෙදහක් දුන්නේ ය.
ඇගේ මුහුණේ ඇඳුණේ ඒ මුදල ප්‍රමාණවත් නොවන බවයි. සමන්ත ඊට පෙර දිනක අප්පච්චිට දීමට සරමක් මිලදී ගෙන තිබුණි. ඔහුගේ නොරිස්සුමට ප්‍රධාන හේතුව වූයේ නංගිගේ ආක්‍රමණයෙන් හීලෝගම ගමන ගැන තම සුන්දර සිතිවිලි දැහැන බිඳුණ හෙයිනි. පුංචම්මාත් ඇගේ දුවලාත් බස් පාර දෙසට යනු බලා සිටි සමන්ත රෙපයාර් කාමරය හාඩ් බෝඩ් ගසා වෙන් කර තනා ඇති පිටුපස කුටියට වැදුණේ ය. ඔහුගේ බූරු ඇඳත් කබඩයත් ඇත්තේ එහි ය.
අලුත්වැඩියා කරන ලද රේඩියෝවකින් ‘අම්මාවරුනේ’ ගීතය ගැයෙයි. සමන්ත රෙපයාර් කාමරයේ සිටින සෑම විට ම ඒ කාමරයෙන් සංගීත හඬ විහිද එයි. ඒ බොහෝ විට රේඩියෝවේ හෝ ටේප් රෙකෝඩරයේ හෝ අලුත්වැඩියාව හරිදැයි බැලීමට ය. සටනේදී ආබාධිත වීමෙන් පසු ස්වයං රැකියාවක් ලෙස ඔහු පුහුණුව ලැබුවේ රේඩියෝ අලුත්වැඩියා කරන කාර්මිකයකු ලෙස ය. එවැනි කාර්මික වැඩට ඔහු කුඩා කාලයේ සිටම පි‍්‍රය කළේ ය. රෙපයාර් සඳහා රේඩියෝ, ටේප් රෙකෝඩර් ආදියට අමතර ව විදුලි පන්දම්, ටියුබ් ලයිට් හා මේස විදුලි පංකා වැනි විදුලි උපකරණ ද සමන්ත වෙත ගෙනෙනු ලැබේ.
දැන් ඇහෙන්නේ අවුරුදු උදාව පළ කරන ගීතයකි. සමන්ත ගමනට සූදානම් වී අම්මාට හා සුසිලාට දීමට ගත් තෑගි සහිත පාර්සල් කබඩයෙන් ගෙන බෑගයට දමා ගත්තේ ය. ‘සුසිලා මේ සාරියට කැමති වෙයිද දන්නෑ. කැමති නැතත් හරි ෂෝක් කියයි.’ ඒ සාරිය සහිත පාර්සලය බෑගයට ඔබන ගමන් සමන්ත සිතුවේ ය. ඔහු කෘත්‍රිම පාදය ඇඳ අත් වාරුව ද අතට ගෙන කාමරය වසා යතුර සාක්කුවට දමා ගත්තේ ය. අද බසුත් අඩුයි. බස්වල සෙනඟ කිටි-කිටියෙ පිරිලා. බස් හතරක යන්ඩ එපායැ.
කළුවර වැටෙන්ඩ ඉස්සර යා ගන්ඩ ඕනෑ. සමන්ත උගුර පාදමින් අප්පච්චිගේ ඇද ළඟට ගියේ ය. නිවෙස පිටුපස කණ්ඩිය බසිද්දී කණ්ඩියේ පස් කුට්ටියකුත් සමඟ පහළට වැටී අප්පච්චිගේ වම් කකුල කැඩුණේ දැනට මාස පහකට පමණ පෙර ය. තව ම කකුල හරියට සුව වී නැත. ප්‍රතිකාරයක් ලෙස දැන් කෙරෙන්නේ බෙහෙත් තෙල් ගෑම පමණි.
“අප්පච්චි මං ගිහින් එන්නම්. මෙන්න අප්පච්චිට අලුත් සරමක්” කියමින් ඔහු අප්පච්චිට වැන්දේ ය.
“වෙන දරුවො අවුරුද්දට තමන්ගෙ ගෙදර එනවා. ඒකට උඹ! මොන දීපංකරේක යනවද මන්දා. පෙළවහක් කර ගෙනවත් නම් කමක් නෑ. සිංහල අවුරුද්දට ගෙදර නෑ. අරුත් කොහෙ මකබෑ වුණාද මන්දා. මට මේ ජෝගුවට වතුර ටිකක් ගෙනැත් තියලා පලයන්.”
“අප්පච්චියෙ, අමතක නොකර තෙල් ටික ගාවා ගන්ඩ. ලැට් එකට යන කොට පරෙස්සමෙන්. මේක බිම ඇන ඇන ඇවිදින්ඩ. හැරමිටියට වඩා විශ්වාසයි. මං අප්පච්චිටමයි හැදුවෙ“යි සමන්ත ඇවිදීම් ආධාරකය ළඟට කරමින් කීවේ ය.
“අප්පයි පුතයි දෙන්නට ම අත් වාරු. උඹ වන්නි කොටි එක්ක යුද්ධ කරලා. මේ මං අබ්බගාත වෙලා හිටියත් උඹ වියදං කරනවා අපට. එහෙව් එකේ මං නිකම් ඉන්නෙ නැතිව කර ගත්ත දෙයක්. දැන් කාටත් කරදරේ.” අප්පච්චි සුසුම්ලමින් කීවේ ය.
මාරස්සන - නුවර බස්වල රියැදුරෝත් කොන්දොස්තරවරුත් සමන්ත හඳුනති. සෙනඟ පිරි බසයට සමන්ත නැග මදක් ඇතුළට රිංගන තුරු රියැදුරා බසය නවතා ගෙන සිටියේ ය. ඔහුට වාඩි වීමට තැනක් සලසා දෙන ලද්දේ සෑහෙන දුරක් පැමිණි පසු ය. සමන්ත නුවර බේකරියකින් අයිසිංවලින් සරසන ලද කේක් ගෙඩියක් හා හීලෝගම පැත්තේ නැති ඩෝනට් වැනි පැණි රස කැවිලි වර්ග කීපයක් ද මිලදී ගත්තේය. කපිල ද ඒ දිනවල අම්මාට ගෙන ගියේ එවැනි දේය.
ගුඩ්සෙඩ් බස් නැවතුම්පළින් ම කුරුණෑගල බසයට නැංඟ නිසා ඔහුට වාඩි වීමට කොනේ ආසනයක් ලැබුණි. නගරය ඇවිස්සුණු කඩි ගුළක්. වාහනවල හා පදික වෙළෙඳුන්ගේ කරච්චල ය. ඇඟිල්ලක් ගහන්ඩ බැරි තරමට සෙනඟ පිරුණු බසය තුළ ඇත්තේ දැඩි උණුසුමකි. සිත සංසුන් කර ගැනීමට සමන්ත හීලෝගම ‘දීපංකරය’ ගැන මෙනෙහි කරන්නට විය. ඔහුට මාරස්සන නිවසේ ජීවිතය එපා වී ඇත. අප්පච්චි ඉන්නකන් තමා මාත් ඉන්නෙ. මගෙ අම්මා හිටියා නම් බාගදා මගෙ වම් කකුල තවමත් තියෙනවා.
මං එහෙනම් ගුරුවරයෙක්. ලිපිකරුවෙක්. උපාධිධාරියෙක්. එක් කුසේ උපන් මගෙ නංගි ගුරුවරියක්. නැත්නම් සාත්තු සේවිකාවක්. අම්මා මැරිලා අවුරුද්දක් ගියේ නෑ. මං එතකොට පහේ. මේ පුංචම්මා කියන ගෑනි මෙහාට පාත් වුණා. බඩකුත් උස්සා ගෙන. මං සාමාන්‍ය පෙළ විභාගෙ ගන්නකන් හරි ඉස්කෝලෙ ගියෙ අමාරුවෙන්. පුංචම්මාගෙ වෙනස්කම් හින්දම ඉගෙනීම කඩාකප්පල් කර ගත්ත නංගි පස්සෙ කාටවත් නොකියා පියුංකාරයෙක් බැඳ ගෙන දැන් කොබෙයිගනේ පැත්තෙ. ගියත් ගියාමයි මේ පැත්තෙ ආවෙ නෑ. පව්!
හීලෝගම වනාහි හමුදා පුහුණුව ලබන කාලයේත් සිංහ රෙජිමේන්තුවේ රා. සෙ. හෙවත් රයිෆල් සෙබළ ලෙස කොටි ත්‍රස්තවාදීන් හා බිහිසුණු සටනක යෙදී සිටිද්දීත් එකට සිටි සමන්තගේ කුලුපග ම මිතුරු කපිලගේ ගම ය. අහිංසක කපිල! හමුදා පුහුණු කාලයේ සමන්ත හීලෝගම නිවෙසට කපිල සමඟ හතර-පස් වරක් ම ගොස් ඇත. සමන්ත කපිලගේ අම්මා ද ඇමතුවේ අම්මා කියාය. ඇගේ සෙනෙහස මෙන්ම හීලෝගම පිටිසර පරිසරය සමන්තගේ සිත් ගත්තේ ය. මතක් වන විටත් ඔහුගේ නෙතට කඳුළු උනයි.
කෙත්වතු මැදින්, නියරවල් උඩින්, ඒදඬු දිගේ, එසේම නාඳුනන ගෙවල අගුපිල් අයිනෙන් වැටුණු අඩි පාරවල් දිගේ මිතුරෝ දෙදෙන වෙහෙස දැනෙන තුරු ඇවිද්දහ. වැව්වලට පැන පීනමින් නෑහ. ගස්වලින්ම අඹ, පේර, කුරුම්බා ආදිය කඩා ගෙන කෑහ. අඹරන ලද කොල්ලුවලින් උකුවට සෑදූ ආනම් හොද්දේ පොඟවා කුරහන් තලප කෑහ. කපිලලාගේම රත්තීගෙන් දොවා ගත් කිරි බිවූහ. කපිලලාගේ ගෙදර ගමේ ප්‍රසිද්ධව තිබුණේ ‘කිරි ගෙදර’ යනුවෙනි. සමහරු අම්මාට ‘කිරි නැන්දා’යි කිවූහ. සමහරු ඇයට ‘යසෝ නැන්දා’ යි කිවූහ. අම්මා කාටවත් කිරි වික්කේ නැත. ගෙදර ඒමට නොහැකි අවස්ථාවල කපිල මාස්පතා අම්මාගේ ඉතිරි කිරීමේ ගිණුමට මුදල් බැර කළේ ය.
ත්‍රස්තවාදීන්ට එරෙහිව වන්නියේ කලමඩුහි දියත් කරන ලද මෙහෙයුම කපිලගේත් සමන්තගේත් ඉරණම තීරණය කළේ ය. මෙහෙයුම සඳහා මූලස්ථානයේදී නම් සටහන් කර යවන ලද ‘ඩී’ කොම්පැනියේ තිස් දෙනාට ත්‍රස්තවාදීන්ගෙන් දැඩි මෝටාර් ප්‍රහාරවලට මුහුණ දෙන්නට සිදු විය. තරමක් දුරින් සිටි කපිල මෝටාර් වෙඩිල්ලක් වැදී විසි වී වැටෙනු සමන්ත දුටුවේ ය. එය සිදු වූයේ ආධාරක බල ඇණිය ඔවුනට පිටු පසින් ළඟ - ළඟ ම එද්දීය. සමන්තට මෝටාර් ප්‍රහාරයක් එල්ල වූයේ ඔහු කපිල සිටි දෙසට යන්නට හදන විට ය.
චොපරයකින් අනුරාධපුර රෝහලට ගෙන යන ලද සමන්තට තම වම් පය අහිමි වී ඇති බව වැටහුණේ රෝහලේ සිටි දෙවන දිනයේ ය. සිරුරේ වූ වෙනත් තුවාල නිසා ක්‍රියාන්විතයේ සිදුවීම් ඔහුගේ සිතේ මැවුණේ දුමාරයකින් වැසුණු කලක මෙනි. සමන්තට මාසයක් පමණ රෝහලේ ගත කිරීමට සිදු විය. පසුව ඔහුට ලැබුණු කෘත්‍රිම පාදයට හුරු වීමට ද සෑහෙන කලක් ගත විය. ස්වයං රැකියාවක් ලෙස ඔහු පුහුණුව ලැබුවේ විදුලි කාර්මික ශිල්පයයි. එය ඔහු කුඩා කාලයේ සිට ආශා කළ දෙයකි.
පසු මූලයෙන් කපිල ගැන හදිසියේ කළ විපරමකදී සමන්තට දැන ගන්නට ලැබුණේ කපිලගේ නම අතුරුදන් වූ සෙබළ ලැයිස්තුවේ ඇති බවයි. ලාන්ස් කෝප්රල් තනතුරට උසස් වීමක් ලැබ සමන්ත මාරස්සන තම නිවෙසට යන කාලය වන විටත් යුද්ධය නිමා වී නොතිබුණි. කොට්ඨාස පොලිස් මූලස්ථානයේ පණිවුඩ මඟින් හීලෝගම කිරි ගෙදරට කපිල ගැන කුමන පණිවුඩයක් ලැබෙන්නට ඇත්දැයි බැලීමට සමන්ත එහි ගියේ පසුගිය අවුරුද්දේ සිංහල අවුරුද්දට දවස් දෙකක් තිබියදීය. අම්මා බලා පසු දින ආපසු මාරස්සන ඒමටය ඔහුට උවමනා වූයේ.
ආබාධිතයන් අතර කපිලගේ නම නැති බව සමන්තට සහතික ය. කපිල කරන්නාක් මෙන් සමන්ත අයිසිං දැමූ කේක් ද අම්මාටත් කිරි අම්මාටත් මල් මල් චීත්ත ද ගෙන ගියේ ය. පෙර මහවෙන් බසයෙන් බැස කපිල සමග ඉක්මනින් ගමන් කළ අඩි පාරේ කෘත්‍රිම පාදය නිසා සමන්ත ගමන් කළේ අපහසුවෙනි. ඔහු කෙටි පාරවල් නොගෙන ත්‍රීවිලයකින් දිග පාරේ යා හැකි තරම් දුර ගියේ ය. තවත් ඔබ්බට ත්‍රීවිලයට යා නොහැකි තැන එයින් බැස ඇවිද ගිය සමන්ත නිවසක මිදුලේ පොල් අතු වියමින් සිට තමන් දෙස උවමනාවෙන් බලා සිටි කාන්තාවකගෙන් “කිරි ගෙදර උන්දා සනීපෙන් ද?” කියා ඇසුවේ ය.
“මොන සනීපයක්ද මහත්තයො. කිරි අම්මා අන්තරා වුණාට පස්සෙ යසෝ නැන්දගෙ සිහි කල්පනාවත් අඩුයි. මාස පහක් හයක් ලෙඩ ගානෙ හිටියා. බඩගිනි දැනුණම මොනවාහරි තම්බා ගෙන කනවා. කිට්ටුව ගෙවල්වලිනුත් මොනවාහරි ලැබෙනවා. කිරි දෙවිල්ලකුත් නෑ දැන්... වත්ත පිටියත් අලාපාලුවට ගිහින්.”
කිරි අම්මා මළ බව කපිලවත් දැන සිටියේ නැත. කිරි අම්මාට අවුරුදු අසූ පහත් පසු වෙලා හිටියෙ. සිහි කල්පනාව නැති වුණේ කිරි අම්මා මැරුණ හින්දා වෙන්ඩ බෑ. කපිල ගැන පොලිස් පණිවුඩයක් ලැබිලාවත් ද? මේ නැන්දත් කපිල ගැන මොකුත් කීවෙ නැහැ. මාත් කපිල ගැන අහපු නැති එක හොඳයි.
දෙවැට ඉස්මත්තේ දී සමන්තට සුසිලා හමු විය. සුසිලා “ආනේ අයියෙ?”යි පුදුම වී ඇසුවා ය. ඊට පසු ඈ බිම බලා ගත්තා ය. කපිල ගැන කුමක් හෝ සුසිලා දන්නවා ඇතැයි සමන්තට සිතුණේය. ඔහු ඇය දෙස බලා ගත් වනම සිටියේය. ඇගේ ඇස්වලට කඳුළු උනා ඇත. “ඇයි නංගි?”
“අනේ අයියෙ, කපිලයියා නැති විත්තියක් යසෝ නැන්දට කියන්ඩ එපා... උන්දා ගම පුරා ඇවිද ඇවිද කජු ඇට අහුළනවා උක්කුං පුතා ආපුවම පුච්චලා දෙන්ඩ කියලා.”
“ඇයි කපිල ගැන පොලිස් මැසේජ් එකක් ආව ද?”
“ආවද දන්නෙ නැහැ... පොලීසිය වුණත් මේ අස්සෙ-මුල්ලෙ හොයාගන දෙතුන් සැරයක් එයියැ. මෙහාට හුඟ කාලෙකින් ලියුම් එව්වෙත් නෑ. පණිවුඩයක් තිබුණොත් කාට හරි කියලා යයි. කපිලයියා යසෝ නැන්දාට හුඟ කාලෙකින් සල්ලි එවලත් නැහැ. සල්ලි ඇරන් දෙන්ඩ ගියාම තැපැල් මහත්තයා තමයි අතුරුදන් කතාවත් මට රහසින් වගේ කිව්වෙ. නැන්දා ඒ විත්තියක් දන්නෙ නැහැ. යසෝ නැන්දගෙ ඇස් පෙනීමත් අඩුයි දැන්.
අම්මා ඉඳි කඩොල්ල ළඟ දර ඉපලක් කඩමින් සිටියා ය. “අම්මෙ, අවුරුදු දා?” සමන්තගේ කටින් ඒ ප්‍රශ්නය පිට වුණා පමණි. අම්මා අඬමින් ඔහු වෙතට ආවේ ය. ඈ පය පැකිළී නොවැටුණේ යන්තමිනි.
“මගෙ උක්කුං පුතේ, උදේ ඉඳන් දොඩං ගහේ වහලා කාක්කා කරව් කෙරුවා. මගෙ පුතා ආවා. මට ඉතින් අවුරුදු සරුදත් අහලා! අප්පේ මගෙ කොල්ලා ඇදිලා ගිහින් තියෙන තරම්... යමු පුතේ... ලියුමක්වත් එවන්ඩ එපායෑ.”
අම්මාගේ වැරදි වැටහීම සමන්ත වහා තේරුණේ ය. ඇගේ සතුට උදුරා ගැනීමට ඔහුට හිත් නුදුන්නේ ය. කපිල අම්මාට වඳින ආකාරයට ම ඔහු “බුදු සරණයි” කියා අම්මාට වැන්දේ ය. පෙර කපිල සමඟ ආ විටත් ඔහු ඇයට වැන්දේ ඒ විදියටම ය.
“අම්මේ, හරි තිබහයි” යි සමන්ත කීවේ ය. පෙර කපිල ගෙට ගොඩ වන්නේ ම එසේ කියා ගෙනය.
“බෑග් මල්ල කාමරෙන් තියාපන් මගෙ පුතේ. මගෙ කුමාරයා! මුං කැවුම් කන්ඩ පුතා ආසයිනෙ... ලියුමක්වත් නැති කොට මං හිතුවා තාම යුද්දෙ වෙන්ඩැති කියලා...” අම්මා තනිවම කියවමින් කළයකින් බෙලෙක් ජෝගුවකට වතුර නමයි... “උක්කුං පුතාගෙ ජෝගුව! මං අළු දාලා මැදලා තියලා තිබුණා.”
ඊට පසු අම්මා කාමරයේ ඇඳ මත තිබූ පැදුර ඉවත් කර වෙනත් පැදුරක් දැම්මා ය. “කෝ අම්මෙ රත්ති?” යි සමන්ත ජනෙලයෙන් එපිට බලා ඇසුවේ ය.
“ඕවිටේ මාමා අරන් ගියා. ඉල්ලනවා ඉල්ලනවා. ඉතින් අරන් පලයන් කිව්වා. එහෙ හරක් පට්ටියක් ඉන්නවනෙ... මේ පුතේ, පුතාගේ සරම... මේ මම හෝදලා සැවැන්දරා මුල් දාලා නාවලා තිබ්බා සූස් කේස් එකේ.” සරම දුටු විට කපිල සිහි වී නැවතත් සමන්තගේ ඇස් කඳුළින් බොඳ විය.
සමන්ත රෑ කෑම කන තෙක් අම්මා ඔහු ළඟම රැඳි සිටියා ය. සමන්ත ඇයට යුද්ධය ගැන විස්තර කළේ ය. ඇය තමන් ළඟ ම දැවටෙන නිසා කෘත්‍රිම පාදය රහසක් ලෙස තබා ගැනීම අපහසු බව වැටහී ඔහු ඇයට තම කකුල් කොටයත් බොරු කකුලත් පෙන්නුවේ ය. ඈ හඬා වැටුණා ය. “අම්මා පුතා ගැන ආඩම්බර වෙන්ඩ ඕනෑ. අම්මෙ, අපි යුද්දේ දිනා ගෙන යන්නෙ. අම්මා යුද්දෙට පුතෙක් දීපු වීරවරියක්. ඒක ලොකු පිනක්. ඒ පින ඇති අම්මට දිවිය ලෝක යන්ඩ. නිවන් දකින්ඩ.”
ඒ ගිය සිංහල අවුරුද්ද සමන්ත ගත කළේ අම්මා සමඟය. අම්මා මිදුලේ කණුවක බැඳි කූඩුවේ පහන දල්වා පුතා යහතින් ආපහු එවීම ගැන දෙයියන්ට පිං දෙනු ඇසුණි. ඈ අයියනායක දෙයියන්ට ද පිං දුන්නා ය.
සමන්ත අම්මකුගේ සෙනෙහස ලැබූ අතර අම්මාට පුතා දැකීමෙන් අලුත් ජීවිතයක් ලැබුණි. තවත් දින දෙකකට පසු ඔහු ආපසු පිටත් වූයේ ‘රාජකාරිය පැහැර හැරියොත් දැඩි දඬුවම් ලැබෙන බව‘ අම්මාට ඒත්තු ගැන්වීමෙන් පසුව ය.
සමන්ත අද හීලෝගමට යන්නේ අනිද්දා එළඹෙන අලුත් අවුරුද්දට අම්මාට මෙන් ම සුසිලාට ද තෑගි බෝග අර ගෙන ය. සුසිලා වරින්වර තොරතුරු දන්වා ඔහුට ලියුම් එව්වාය. අම්මා අක්ෂි වෛද්‍යවරයකුට පෙන්වා අවශ්‍ය නම් ශල්‍යකර්මයක් කරවීමේ තම බලාපොරොත්තුව ද සමන්ත සුසිලාට දන්වා තිබුණි.
පුතා අවුරුද්දට එන බව මේ වර අම්මා කල් තියා දන්නී ය. මහව හංදියෙන් බසයෙන් බසින තෙක්ම සමන්තගේ සිතේ මැවුණේ අම්මා තමන් එන තුරු මග බලමින් සිටින අයුරු ය. සුසිලා තමන් දැක “හා! අයියා, අවුරුදු කුමාරයා!” යි කියන හැටි සිහි වී සමන්තගේ සිත ප්‍රබෝදයෙන් ඇළලී ගියේ ය.
https://archives.silumina.lk/punkalasa/20110410/_art.asp?fn=ar1104103
ප්ලාස්ටික්
- විජය ජයසූරිය
මාටින් ඉස්කෝල මහතා මහත් වූ කෝපාග්නියකින් දැවෙමින් සිටියේය. තේ කෝප්පයක් බීමට පාසලේ කැන්ටිමට ගිය ඔහුට දැකගන්නට ලැබුණේ ප්ලාස්ටික් ජෝගුවකට වතුර දමා එහි හීටරයක් ඔබා නටවාගත් වතුරෙන් තේ හදන අයුරුය. ඔහුට එය දැක ගන්නට ලැබුණේ අද ම ය; මීට කලින් එය දකින්නට නොලැබුණේ ඇයි ද යන්න ඔහුගේ සිත විපරීත කරන සුලු ගැටලුවක් විය.
ඇතැම්විට අද දහවල් විවේකයට කලින් තේ එකක් අවශ්‍ය ව පැමිණි නිසා මේ බව දැකගන්නට ලැබුණා විය හැකි ය. අන් දිනවල තේ සඳහා විවේක කාලයේ පැමිණි විට තේ කඩයේ ඇතුළත කවුන්ටරය අසල රැස්කන ළමුන්ගෙන් වැසී ඇති බැවින් මේ තත්ත්වය දැකගන්නට නොලැබෙන්නට ඇත.
’ප්ලාස්ටික් කියන්නෙ වහ... ප්ලාස්ටික් භාජනවල වතුර නටවල තේ බීපුවම හැදෙනව පිළිකා.. මේ විදියට ද හැමදාම ඔහෙල තේ වත්කළේ..?’ මාටින් මහතා කැන්ටින් කාරියගෙන් විමසීය.
ගුරුතුමාගේ බසින් හා හ¼ඩින් මඳක් තැතිගැන්මකට පත් ගැහැනිය තරමක වෙව්ලනසුලු ස්වරයකින් පිළිතුරු දුන්නාය. “නැ.. නැහැ සර්.. බොහොම කලාතුරකින් තමයි ඕකෙන් වතුර උණු කරන්නෙ... මගෙ ඇලුමිනියම් බාජනේ හිල් උණා..’
’ඔය වැඩේ වහා ම නවත්වන්න.. දන්නවද.. නැත්තං අපි සේරම ලෙඩ්ඩු වෙනව.. සේරටම වඩා මේ නොදරුවො.. අපි නං හෙට අනිද්ද වළපල්ලට යයි.. ඒත් මේ ළමයි..’
විවේක කාලයේ ගුරු කාමරයේ දී ද මාටින් ගුරුතුමා කාරණය ඇද ගත්තේය.
’අනේ මමත් කරන්නෙ ඔය වැඩේම නේ.. අපේ ගෙදරත් තේ වත්කරන්න වතුර නටවන්නෙ ප්ලාස්ටික් ජෝගුවක මාටින් මහත්තය.. ඕව ගැන ඔච්චර පරිස්සං වෙන්න කාටද පුළුවන්..’ යනුවෙන් මුලින් ම පිළිවදන් දීමට ඉදිරිපත් වූයේ බාලාංශ පන්තියට උගන්වන මැගී ඉස්කෝල හාමිනේය.
’ආහ් හා..! එහෙනම් වැඩිකල් නොගිහින් ඔහේටත් යන්න වෙන්නෙ මහරගම තමයි.. උතුරන වතුරට ප්ලාස්ටික් දිය උණාම හැදෙන්නෙ පිළිකා.. පිළිකා..’ මාටින් මහතා ජයග්‍රාහී ලීලාවෙන් සිය දෙඇස් දෙහිගෙඩි තරමට විශාල කරමින් පිළිතුරු දුන්නේය.
මැගී ඉස්කෝල හාමිනේ වැඩි කලබලයක් නැති ව ඇඟට නොදැනී මෙන් පිළිවදන් දුන්නා ය.
’මේ මොනව කියනවද මාටින් මහත්තයෝ.. අපි දැන් ඔය වැඩේ කරනව මතක ඇති කාලෙක ඉඳල.. මයෙ හිතේ අවුරුදු පහළොහකට විස්සකට වැඩියි.. කෝ ඉතින් අපේ ගෙදර කාටවත් ඔය කියන විදියෙ ප්‍රශ්නයක් උනේ නැහැනේ.
’හරි හරි.. කරගෙන යන්නනෝ.. කාලය විසින් ම ප්‍රශ්නෙ විසඳාවි..’ මාටින් මහතා අවඥා සහගත සිනාවක් ද මුව‘ගට නඟාගනිමින් පැවැසීය.
ඊළඟ මොහොතේ සාකච්ඡාවට සිය හඬ එක් කළේ පාසලේ විද්‍යා ගුරුවරිය වන චන්ද්‍රා මෙනෙවියයි. අවිවාහක වුව ද ඇය වයසින් තරමක ද මේරූ බුද්ධියෙන් බොහෝකොට ද අන් අයට වඩා ඉදිරියෙන් වූ බැවින් ඇයට කාගේත් අවධානය නිතර යොමු විය.
’මිස්ට මාටින් කියන කතාවෙ යම් ඇත්තක් තියනව‘යි ඇය සිය සුපුරුදු සුන්දර සිනාවෙන් කවුරුත් දෙසත් බැලුවේ කාගේ හෝ ඉන් සිත් රිදීමක් සිදුවේ දැයි සැකයෙන් මෙනි. ‘මං කියන්නෙ මේ මගේ අදහසක් නොවෙයි... නවීන විද්‍යාවට අනුව ප්ලාස්ටික්වලින් කාසිනෝජන් කියල පිළිකා කාරක විෂ වර්ගයක් හැදෙන්න පුළුවන්.. ඒත් ප්ලාස්ටික් කෝප්පවල වතුර බීම නම් මගේ හිතේ හැටියට ප්‍රශ්නයක් නැහැ.. අපි කවුරුත් තේ බොන්නෙ එහෙම නේ.. ඒත් ප්ලාස්ටික් භාජනවල වතුර උතුරවන එක නම් හොඳ මදියි කියලයි මාත් කියන්නෙ.. ඒ හින්ද කොහොමත් ප්‍රවේශම් වෙන එක හොඳයි නේද..’
සති අන්තයේ පැවැත්වුණ ගුරු සාකච්ඡාවේදී ද ප්ලාස්ටික් මාතෘකාව සාකච්ඡාවට ගැනීමට මාටින් මහතා උත්සුක විය. මේ වනවිටත් කාරණය සැලකිල්ලෙන් විමර්ශනයකට ලක්කොට තිබූ විදුහල්පතිතුමා ඒ පිළිබඳ එක්තරා ස්ථාවරයකට පැමිණ සිටියේ ය.
’මාටින් මහත්තය කියන කාරණය මමත් ටිකක් හොයල බැලුව.. ඉතින් මම ඒ ගැන කැන්ටිමෙන් විමසල බැලුවම ඒ මනුස්සයා කියන්නෙ ප්ලාස්ටික් භාජනේක වතුර උණුකරන එක වඩා ලාබදායකලු.. ඉතින් මගේ නම් අදහස අපි එකතුවෙලා ගුරු මණ්ඩලය ගානෙ එයාට වඩා හොඳ භාජනයක් අරගෙන දෙමු..”
මීට ප්‍රතිචාර ලෙස සබාව තුළ හදිසි කසුකුසුවක් මතු වූයේ ඊට බොහෝ දෙනකුගේ විරෝධය පළ කරමිනි.
’මේ වගේ අනවශ්‍ය දේවල්වලට අපි සෑහෙන්න වියදම් කරලයි දැනටමත් තියෙන්නෙ...’ එක් නිර්භය පිරිමි ගුරුවරයෙක් සෘජුව ම පැවැසීය.
’ඒක කොහොමද අනවශ්‍ය දෙයක් වෙන්නෙ.. ඒක කෙළින් ම අපේ සෞඛ්‍යයට සම්බන්ධ දෙයක් නෙ..’ මාටින් මහතා තර්ක කළේ ය.
’අපි දන්නෙ නැහැ මාටින් සර්... අපි දැන් අවුරුදු ගණනාවක් ම ඔය ප්ලාස්ටික් භාජන පාවිච්චි කරනව අපේ ගෙවල්වල.. මෙතක් කල් නම් සිද්ධ වුණ විපත්තියක් නැහැ..’ යනුවෙන් කෘෂිකර්ම ගුරුවරිය වූ පෙරේරා මහත්මිය කීවාය.
’හොඳයි අපි අහල බලමු අපේ විද්‍යා ගුරු මහත්මියගෙන් .. චන්ද්‍රා, ඔයා මොකද මේ ගැන කියන්නෙ.. ඔයා අපට වඩා මේව ගැන දැනගත යුතුයි නේ..’ විදුහල්පති ඇය දෙසට හැරෙමින් විමසී ය.
’ප්ලාස්ටික් භාජනවල වතුර උණුකළා ම කාසිනෝජන් කියල පිළිකා කාරකයක් හැදෙන්න ඉඩ තියනව.. ඒ නිසා කොහොමත් එවැනි දෙයින් වළකින එක තමයි හොඳ..’
විද්‍යා ගුරුවරියගේ කතාවෙන් රැස්වීම පුරා හදිසි නිහඬතාවක් පැතිර ගිය අතර මාටින් මහතා පමණක් කතා කළේය. ‘අන්න බලන්න.. අපි මොනව හරි කීවම තමා මිනිස්සු ඒක විහිළුවකට ගන්නෙ..’
අවසානයේ දී ගුරු මණ්ඩලයේ ශුභ සාධක සංගමයේ අරමුදලින් ආපණ ශාලාවට වඩා හොඳ භාජනයක් ලබාදීමට තීරණය විය.
ඊළඟ පසළොස්වක පෝය දින මාටින් මහතා දහස් ගණනක් සහභාගි වන සීල ව්‍යාපාරයකට සහභාගීවීමට ගියේය. එය මෙහෙයවන ලද්දේ දිවයිනේ සුප්‍රකට යතිවරයාණ කෙනෙකුන් වූ අතර සිල්පද රැකීම, ඒ සඳහා අවශ්‍ය දැඩි අධිෂ්ඨානය, විවිධ පූජා විධි පමණක් නොව භාවනා කිරීම පිළිබඳව ද උන්වහන්සේ විසින් ඉතා ක්‍රමානුකූලව උපදෙස් ලබා දී ඒවා ක්‍රියාත්මක ද කරන ලදී. මෙබඳු වූ වැදගත් වැඩසටහනක් බැවින් විවිධ ප්‍රදේශවලින් සැදැහැතියන් පිරිස් වශයෙන් එම විහාරයට පැමිණි අතර ඔවුන් සඳහා දානය හා ගිලන්පස ආදිය ඒ සඳහා හැකියාවක් ඇත්තවුන් විසින් සපයන ලදී.
පාන්දරින් ම එහි සේන්දු වූ මාටින් මහතා සිල්සමාදන් වී ඉක්බිති ව පැවැති සියලු වතාවත්වල දැඩි කැපවීමෙන් නිරත විය. මාසයක් තිස්සේ පාසලේ හා අවට සමාජයේ ද ඇතිවන සිත් කලඹවන ප්‍රවණතාවන්ගෙන් ඔද්දල් වන මනස සිල් රැකීමෙන් සනසා ගැනීමේ සතුටින් මෙසේ සිටිය දී ය දහවල් තේ වේලාව එළඹියේ.
තරුණයින් දෙදෙනකු විසින් දෙපස කොකු දෙකින් අමාරුවෙන් ඔසවාගෙන යන ලොකු භාජනයක් ඔහුගේ නෙතගැටුණේ මේ වේලේ ය.
”මොනවද අර ළමයි අර උස්සගෙන දුවන්නෙ..’ මාටින් මහතා අසල වූ උපාසක කෙනෙකුගෙන් විමසීය.
’ඇයි දන්නෙ නැද්ද.. ඒ අපට තේ..’
’ඒ ප්ලාස්ටික් බාල්දියක් නේද?’
’ඔව් ඔව්.. ඇයි?’ උපාසක තැන කුතුහලයෙන් විමසීය.
’ඇයි තමයි’ යනුවෙන් තමාටම කියා ගනිමින් ඉවත බැලූ මාටින් මහතාගේ මනස වේගයෙන් වැඩ කරයි. ‘ඇයි මේ මෝඩ මිනිස්සු මේ දහස් ගණනකට තේ දෙන්න ප්ලාස්ටික් භාජනයක් ම ගත්තෙ..’ ගුරුවරයකු වීමට පෙර සිට ද සමාජ අසාධාරණය හමුවේ ඊට එරෙහි ව ඉදිරිපත්වීමට පුරුදු ව සිටි ඔහු තවත් මොහොතක්වත් ප්‍රමාද නොවී පන්සලේ නායක හාමුදුරුවන් හමුවන්නට ගියේය.
’ඇයි ඉස්කෝල මහත්තය වෙන කොහොමද අපි මේ තරම් සෙනඟකට තේ සපයන්නෙ.. ඔය තේ දෙන්න බාරගත්ත එකත් කොච්චර නම් වියදම් යන වැඩක්ද..? යන්න මාටින් මහතාගේ පැනයට නායක හිමියන්ගේ ක්ෂණික පිළිතුර විය.
’මෝඩයි.. මෝඩයි..මේව තමයි අපේ ජාතික මෝඩකම්..’ යනුවෙන් තමාටම මුමුනමින් මාටින් මහතා ආපසු තමන් සිටි තැනට ආවේ ය. කිසිසේත් මෙහි සපයන තේ නොබොන්නට දැඩි තීරණයක් ගත් ඔහු ජල කරාමයක් වෙත ගොස් ඇතිවෙන්නට දිය බීවේය. ඒ අතර යළි මෙහි එන විට තමාගේම තේ බෝතලයක් රැගෙන ඒමට ද ඔහු ස්ථිරසාර අදිටනක ද පිහිටා ගත්තේය.
* * *
වයස හැටකට ආසන්න ව සිටි මාටින් මහතා දැනට ටික කලක සිට සිය දත්වල ආබාධවලට ලක්වෙමින් සිටියේ ය. දිනක් දිවා ආහාරය වේලාවේ වඩේ එකක් සැපීමේ දී ඔහුගේ ඉදිරිපස දතක් මැදින් කැඩී ගියේය. තරමක පැත්තක වූ කැඩුණු දතකට ඉදිරියෙන් මෙසේ අලුතින් දතක් ද බිඳී යාමෙන් ඇතිවූ හිඩස කතාකිරීමේ දී හා සිනාසීමේ දී ඔහුගේ මුහුණේ පෙනුමට අප්‍රසන්න ස්වරූපයක් ලබා දෙන්නට සමත් විය.
’ඔයාගෙ දත් දෙක ඩොක්ට චාන්දනීට කියල දම්ම ගමු.. නැත්තං ඕක හරි කැතයි..’ ඔහුගේ බිරිය යෝජනා කළාය. ඒ අනුව එක් ශනිදාවක ඔවුන් හොඳ හැටි හඳුනන එම පෞද්ගලික සායනයට ගියවිට දත් සවිකිරීමට ඊළඟ සතියේ එන ලෙස දන්වන ලද අතර ඒ සඳහා අවශ්‍ය මිනුම් ආදිය ද ගන්නා ලදී.
නියමිත දින දත් දැමීමට ගිය විට ඔහුට ලැබුණ අලුත් දත් දෙක මුඛයේ අනෙක් දත්වලට වඩා පැහැයෙන් මඳක් වෙනස් බව මාටින් මහතාට පෙනිණ. ඔහු ඒ ගැන දත් සවිකරමින් සිටි වෛද්‍යවරියගෙන් විමසීය.
’නැහැ මිස්ට මාටින්.. දැන් තාක්ෂණය ගොඩාක් දියුණුයි.. දැන් ඒගොල්ලන්ට පුළුවන් ඕනම පාටක දතකට මැච් වෙන්න දත් හදන්න.. ඒක ඒගොල්ලන්ට හරි ලේසි වැඩක්.. ඒ මොකද ප්ලාස්ටික් වලින්නේ ඕව හදන්නෙ.. ඉතින් වැඩේ හරි සිම්පල්..’
’ප්ලාස්ටික්.. ප්ලාස්ටික්.. කවුද .. මොකක්ද..’ මාටින් මහතා වෛද්‍යවරියගේ අවසන් වදන්වලින් දැඩි කැලඹිල්ලට පත් ව ගොතගසන්නට විය.
”ඔව්. ප්ලාස්ටික් තමයි.. අද නූතන ලෝකෙ ඉතා ම ලාබදායක, පහසු ම සහ ඉතා ම කාර්යක්ෂම ව ඕන ම වැඩකට යොදාගන්න පුළුවන් ද්‍රව්‍යය. වෛද්‍යවරිය ඉමහත් ප්‍රහර්ෂයෙන් කියාගෙන ගියේ නවීන විද්‍යාවේ හාස්කම්වලින් මිනිසා ලත් තවත් එක් ජයග්‍රහණයක් පිළිබඳව උදම් අනමිනි.
’මගෙ දෙවි හාමුදුරුවනේ..’ මාටින් මහතා සිතින් මතුළේය.. ‘මොන වින්නැහියක් ද මේ කරගත්තෙ මේකට ඇවිත්.. මට දැන් උණු තේ එකක්වත් බොන්ට බැරිවෙනවනෙ.. මොන අපරාධයක් ද මේ...’ එහෙත් ඒ කිසිවක් වෛද්‍යවරිය සමඟ පැවසීමට තරම් දිරියක් ඔහු තුළ නොවීය. පැරණි දත් දෙකේ මුල් විද සවිකොට තිබූ බැවින් දැන් ඒ ගැන කළ හැකි දෙයක් ද නොවී ය.
’මම ප්‍රාර්ථනා කරනව මේ මළහෝන්තු දත් දෙක ඉක්මනට ගැලවිල යන්න කියල.. මින් මත්තට දතක් කැඩුණොත් මම නම් ආයෙත් ඒව දමන්න යන්නෙ නැහැ.. හිඩස ඔහේ තියෙන්න අරිනව මිසක්.. එහෙම නැත්තං දත් ටික සේරම ගලවල දානව මිසක්..’ මාටින් මහතා ආපසු එන අතර සිය බිරිය දෙස රවා බලමින් කීය.
https://archives.silumina.lk/punkalasa/20110821/_art.asp?fn=ar1108213
හානේ පුංචි, ඔයා උදෙන් ම ද ආවෙ?’
’ඔව් දුවේ, පහේ බස් එකේ.’
’ඇයි තනිව ම ආවෙ. මොකෝ නර්මදා ආවෙ නැත්තෙ’
’බබාට මොන්ටිසෝරි යන්න තියෙනවනෙ. ඒ ගොල්ල පස්සෙ එන්නම් කිව්ව.’
’කෝ බලන්න, අපේ පැටියා’
ඇඳ ළඟට ගිය පුංචි අම්මා හර්ෂණීගේ කිරි දරුවා දෝතට ගෙන සකල ශරීරය ම ඉඹගෙන ගියේ පිස්සුවෙන් වගේ.
’දූ වගේ මයි පැටියා’
’ඔන්න පැටියෝ... පැටියගෙ පුංචි ආච්චි ඇවිල්ල’
’පුංචි ආච්චි නොවෙයි මයෙ පැටියගෙ ම ආච්චි’
’ඒකත් හැබෑව. වෙන ආච්චි කෙනෙක් ඉන්නවයැ. ඉතින් පුංචි ආච්චි කියන්න ඕ නෑ’
’දැන් කොහොමද දුව. මේ දරුව බලාගන්නෙ’
’දැනට නම් ගෑනු කෙනෙක් ඉන්නව. ඒත් කොහොම ද පිට ගෑනු විශ්වාස කරන්නෙ. මං වැඩට යන්න වුණහම තමයි ප්‍රශ්නෙ’
’බලමුකෝ ඉතින් මට මඟ අරින්න පුළුවනෑ. මගේ ම කෙල්ලනෙ. කොහොමත් මං ටික දවසක් ඉන්න බලාගෙනමයි ආවෙ‘
’ඇත්තද අනේ කොච්චර හොඳද? නර්මදා මොකවත් කියයි ද දන්නෙ නෑ’
’ඒ ළමය දැන් ලොකුයිනෙ. මොන්ටිසෝරිත් යනව. එයා කොහෙවත් යන එකක්යැ. ගෙදර ඉන්න එකනෙ. ළමය බලාගන්න බැරියැ.’
’මගේ ඇඟේ ලේ ඉනුවෙ දැන් තමයි පුංචි’
’ඇග්නස් ඇන්ටි, මේ ඇවිත් ඉන්නෙ මගේ පුංචි. ඉක්මනට තේ හදාගෙන වරෙන්’
’පුංචි, අර එහා පැත්තෙ කාමරේ ඇඳක් එහෙම ඇති. පොඩ්ඩක් අස්කර ගන්න පුළුවන්නෙ’
’අපොයි පුළුවන් දුවේ’
පුංචි ඇඳුම් මාරුකරගෙන දරුවා දෝතට ගෙන ඉස්තෝප්පුවට ආවාය.
’පැටියෝ අර බලන්න කවුද එන්නෙ කියල’
ඈතින් එන ගුණදාස දුටු පුංචිගේ හිත සතුටින් පිරී ගියේ ය. ගුණදාස තව තවත් ළංවත් ම ඇගේ මුහුණ ජම්බු ගෙඩියක් මෙන් පිම්බී ආවේය.
’ආ... චන්ද්‍රා දැන් ද ආවෙ‘
ගුණදාසගේ මුහුණේ සියුම් නහර දිගේ රුධිරය වේගයෙන් ගමන් කරන ආකාරය පුංචි බලා සිටියා ය.
’ඇති යාන්තම් අපිව මතක් වුණා’
’අමතක වුණා නොවෙයි.’ දරුවා හර්ෂණී අතට දුන් චන්ද්‍රා කුස්සියට ගොස් තේ වත්කළාය.
’ඇයි පුංචි ඔය ඇග්නස් ඉන්නෙ’
’කමක් නෑ දුවේ, තාත්තට තේ එකක් හදල දෙන්න’
චන්ද්‍රා එනකොට ගෙන ආ හැලපත් කෙසෙල් ගෙඩිත් සමඟ තේ බන්දේසියක තබා ගුණදාස වෙතට ගෙනාවාය.
’ඇයි මේ මං පිට කෙනෙක්යැ’
’කමක් නෑ’
ඉස්තෝප්පුවේ ටීපෝව මත බන්දේසිය තබා තේ බොන අතරේ පුංචිත් තාත්තත් බොහෝ වේලාවක් කථා කරමින් සිටියහ. එදින තාත්තා ගතකළේ බොහෝ කලකින් නොවූ තරම් ප්‍රබෝධයකිනි. අම්මා මියගිය දා පටන් තාත්තා ගත කළේ මහත් කලකිරුණු ස්වභාවයකිනි. ගෙදර වතුපිටි පාලුවට ගියේය. බොහෝවිට කොහේ හරි යන තාත්තා නැවත ගෙදර එන්නේ බොහෝ වේලාවකට පසු ය.
පසුදා උදේ ම තාත්තාගේ රෙදි ගොන්නක් ම හෝදන්නට පුංචි ළිඳ ළඟට ගෙන ගියා ය. තාත්තා ද ඒ දෙස බලා සිටියා මිස එය වැළැක්වීමට හෝ වෙන කිසිවක් කීමට උත්සාහ නො කළේ ය. හර්ෂණීට බැරි වූදා සිට තාත්තා එතරම් පිළිවෙළකට ඇඳුමක් නො ඇන්දේ ය. තාත්තා කවදත් රෙදි සේදීමට කම්මැළිය. තාත්තාගේ රෙදි සෝදන්නට ඇග්නස්ට නියම කරන්නට ද නො හැකි ය. ඇයට හිතා මතා එවැන්නක් කිරීමට වුවමනාවක් ද නොවී ය.
තාත්තා එදා දවස ම ගෙදර සිටියේ ය. මිදුල පුරා වැවී තිබුණ තණ කොළ ගොල්ල උදලු ගා දැමුවේ ය. පුංචි ගේ පැමිණීමත් සමඟ තාත්තා මෙතරම් වෙනස් වූ ආකාරය දුටු හර්ෂණීට ඇති වූයේ බලවත් සතුටකි. තාත්තා ගෙදරින් බැහැරව පිටතට ගියේ සතියකට පමණ පසු ය. හර්ෂණී දරුවාට කිරි දෙමින් සිටියා ය. චන්ද්‍රා ද ඒ ඇඳ උඩින් වාඩි වූයේ ලොකු වුවමනාවකට මෙනි.
’දුව මං දුවට පුංචි කතාවක් කියන්නම්. හැබැයි දුව මං ගැන අහිතක් හිතන්නෙ නැත්නම්.’
’නෑ, පුංචි මං කවදාවත් එහෙම හිතනව ද? පුංචි මොනව කිව්වත් මං ඒ ගැන හිතන්නෙ නෑ.”
’ඔයා පොරොන්දු වෙන්න ඕනෑ මේක දන්න බවක් අඟවන්නෙ නෑ කියල.’
’ඔව් පුංචි’.
’ඔයා මේක අහල කිසි වෙනසක් නො වී ඉන්නත් පොරොන්දු වෙන්න ඕනෑ.’
’මොකක්ද පුංචි මේ තරම් අර අඳින්නෙ.’
’දුව දන්නෙ නැහැනෙ පුංචිගෙ බාප්ප ගැන.’
’මං අහල තියෙනව දැකල නෑ.’
’එයා හැඩකාරයි. හොඳ පෙනුමක් තිබුණ. හමුදාවට ගිය අලුතමයි මං එයාට ආදරේ කළේ’ එයා යුද්ධයෙන් මැරෙන කොට නර්මදාට අවුරුද්දකට වැඩිය නෑ. ඉන් පස්සෙ මං නර්මදාවත් හදාගෙන පැන්ෂන් එකෙන් ජීවත් වුණා. දුවගෙ අම්ම දරුවෙක් ලැබෙන්න හිටිය. ඒත් මාස පහකින් ඒ බලාපොරොත්තුව සුං වෙලා ගියා. දෙවෙනි වතාවට දරුවෙක් ලැබෙන්න හිටියෙ ඊට අවුරුදු හතරකට පස්සෙ. ඒ පාරත් එහෙමම වුණා. තවත් දරුවෙක් හදා ගන්න අම්ම හොඳට ම බයවුණා.
ඒ විතරක් නොවෙයි අම්ම හිටියෙ හරිම හිත් වේදනාවෙන්. ඔය අතරෙ දූලගෙ තාත්ත ඉතාලි යන්න ලෑස්ති වුණා රස්සාවකට. දූලගෙ අම්ම මටත් කතාකළා ඒගොල්ල එක්ක යන්න. මං කොහොමත් කැමති වුණේ නෑ ඒ ගමනට. දූලගෙ අම්මගෙන් බේරෙන්න ම බැරිවුණා. මං ඒ ගමන යන්න එන්නෙ නැත්නම් එයා යන්නෙත් නෑ කියල අඬන්න ගත්තා. ඒ ගමන තමයි මං යන්න කැමති වුණේ. දූලගෙ තාත්ත මගේ පැන්ෂන් එක බැංකුවට හැරෙව්ව. මං ඉතාලි ගියේ නර්මදාවත් අරගෙන.
ඉතාලියේදි දූලගෙ අම්මත් මාත් දෙන්න ම ගෙදර හිටියෙ. තාත්ත විතරයි රස්සාවකට ගියේ. එක දවසක් දූලගෙ අම්ම මට මෙහෙම කිව්ව.
’නංගි දන්නවනෙ දරුවෙක් නැතුව මං කොච්චර වේදනා විඳිනවද කියල. ඒත් අපිට ම කියල දරුවෙක් නෑ. අනුන්ගෙ දරුවෙක් අරන් හදන්න මං කැමැති නෑ. කොහොම වුණත් ඒ අනුන්ගෙනෙ.’
’ඉතින් අක්කෙ’
’ඔයාට පුළුවන් ද මට උදව්වක් කරන්න’
’මොකක්ද අක්කෙ’
’මං ඒ ගැන අයිය එක්කත් කිව්ව. අයියව බොහොම අමාරුවෙන් කැමති කරව ගත්තෙ’
’ඉතින් මොකක්ද මගෙන් කෙරෙන්න ඕනෑ?’
’දූලගෙ අම්ම කතා කළේ නෑ. ජනේලයෙන් ඈත හිස් අහස දෙස බලාගෙන හිටිය. අම්මගෙ මූණ කළුපාට වුණා. කඳුළු බින්දුවක් නාසය දිගේ ගලාගෙන ඇවිත් පපුව මතට වැටුණා.
’මං ඒක පස්සෙ කියන්නම්.’
ටික වේලාවක් අපි දෙන්න ගොළුවන් වගේ හිටිය.
අවුරුදු දෙක අවසානෙදි අපි ආපහු ලංකාවට ආවෙ ලස්සන පුංචි දුවකුත් අරගෙන. ඒ ඇවිත් මං නර්මදාත් එක්කරගෙන අපේ ගෙදරට ගියා.
’කෝ ඉතින් ඒ දරුව‘
’මන් දන්නෑ’
හර්ෂණී ටික වේලාවක් සීලිම දෙස බලාගෙන සිටියා ය.
’පුංචී....’ හර්ෂණී පුංචීගේ බෙල්ල බදා ගත්තා ය. හර්ෂණීගේත් චන්ද්‍රාගේත් ඇස් කඳුළෙන් තෙත් වී ගියේ ය.
’මට තේරුණා’ ටික වේලාවකට පසු හර්ෂණී කීවා ය.
https://archives.silumina.lk/punkalasa/20110403/_art.asp?fn=ar1104033
රේස් සීයා සහ රේස් ආච්චි
- සුනිල් ගුණවර්ධන
රේස් සීයා හා රේස් ආච්චි අපේ ලෝකයෙහි වීරයෝ වූහ. ඔවුන් දෙදෙනා පිළිබඳ මතකය අපෙන් පහසුවෙන් ඉවත් කළ නො හැකිය. දෙදෙනා ම ඉතා ප්‍රිය මනාප වූහ. ගමනක් බිමනක් ගියත්, නිවසේ සිටියත්, හොඳින් ඇඳ පැලඳ උන්හ. ඔවුන් ගේ ධනවත්කමට, පෞරුෂයට, එසේ නොමැති නම් ප්‍රියශීලී භාවයට අප ගරු කළේදැ යි අපට කිව නො හැකි ය.
”අම්මෙ අද ලොකු පුතාල ගෙ දිහාවෙ ගිහිං එමුද?”
”හොඳයි අම්මෙ යමු”
”මම ජේමිසාටත් කඩ දෙක අපි එනකල් බලාගන්න කිව්ව”
”පොඩි එවුන්ට මොනවද ගෙනියන්නෙ කියල මං කල්පනා කළේ”
”සීනි බනිස් ටිකකුයි කෙහෙල්කං ඇවරියකුයි තව මොනව හරි ගෙනියමු”
”ලොකු එකා හැමදාම පාට පැන්සල් පෙට්ටියකුයි, වෝටර්කලස් එහෙකුයි ඉල්ලනව. අපේ කඩෙන් ඒක අරං යමු.”
”අම්මෙ පොඩි එවුන්ට දෙන්න සිල්ලර කාසි ටිකක් ගෙනියන්න අමතක කරන්න එපා”
අපේ පියාගේ පියා හා මව වන ඔවුන් දෙදෙනා අප නිවසට පැමිණෙන බව සැලවූ මොහොතේ සිට, ඒ පිළිබඳව කතිකා කරන ආකාරය ද අපට සිතින් සිතා ගත හැකිය. “අම්මේ” යනු අප දන්නා කාලයේ සිට දෙදෙනා දෙදෙනාට ම කතා කරන ආකාරය යි.
රේස් සීයා හා රේස් ආච්චි අප නිවසට පැමිණෙන්නේ කුලියට ගත් වාහනයකිනි. නැතහොත් රික්ෂෝ දෙකකිනි. ඔවුන් පැමිණ පිටත්වනතුරු වාහන අප නිවස ඉදිරියේ පාරෙහි නවතා ගෙන සිටී. වාහනයකින් පැමිණිය හොත් රියදුරා වාහනයට ම වී සිටී. රික්ෂෝවලින් පැමිණියහොත් එය අදින්නෝ බුලත් විට හපමින් උත්කුටුකයෙන් පාර අයිනෙහි හිඳගෙන සිටිති.
රේස් ආච්චි හා රේස් සීයා ගේ සම්ප්‍රාප්තිය අපට මහත් අභිමානයකි. එදිනට නිවස ද අමුතු ආලෝකයක් උසුලතැයි සිතේ. අප සියල්ලන්ටම ඔවුන් ගෙන් ඇති පමණ කෑම බීම ලැබේ. අත පුරා මුදල් ලැබීම ද නිසැකයෙන් සිදුවන්නකි. එහෙත් ඔවුන් දෙදෙනා ගේ තවත් ප්‍රතිපත්තියක් විය.
දරුවකු ගේ නිවසකින් වත් යමක් කෑමට බීමට ඔවුහු අකමැති වූහ. රේස් සීයා ආහාරයට ගත්තේ රේස් ආච්චි අතින් සැකසෙන දෙයක් ම ය. එය අභිමානයත්, පිරිසිදු කමෙහිත් මිශ්‍රණයකි. ඒ බව දන්නා අපේ මව කඩයට ගොස් ඔරේන්ජ් බාර්ලි බෝතලයක් ගෙනැවිත් කෙසේ හෝ ඔවුනට පොවන්නීය. කවර වෙලාවක පැමිණියත් ඔවුහු කිසි දිනක පැයකට හමාරකට වඩා අප නිවසෙහි නො රැඳුණාහ.
”මුනුබුරු මිනිබිරියො බලන්න ආව වගේ” ඔවුන් දෙදෙනා ගේ පැමිණීම ගැන ඇස ගසාගෙන සිටි ඇතැම් අසල්වැසියෙක් පෙරළා යනවිට ඉදිරියට පැන ප්‍රශ්න කරන්නේ ද මහත් බැතිබර සිතකිනි.
”ඔව් අපිටත් එන්ඩ ලැබෙන්නෙ බොහොම කලාතුරකින් දවසකනෙ. ගිහිං එඤ්ඤං.” ඔවුහු පිළිතුරු සපයති. එසේ පැමිණි තැනැත්තා හෝ තැනැත්තිය අසරණයකු හෝ අසරණ එකියක නම්, කිසියම් මුදලක් අත තැබීමට ද ඔවුහු අමතක නො කළහ.
”බුලත් විටක් කන්න එහෙම මේක තියාගන්න.”
”යමල්ල බං යමල්ල” රැගෙන ආවවුන්ට පවසා ඔවුහු වාහනවලට ගොඩ වෙති. ඔවුන් පසුපසින් පැමිණෙන අපට ඒ හඬවල්වල ද මහත් ප්‍රිය මනාප බවක් දැනේ.
රේස් සීයා හා රේස් ආච්චි වාසය කළ නාරාහේන්පිට මහ වත්තට මා පැමිණියේ අවුරුදු හතළිහකට, හතළිස් පහකට පසුව විය යුතු ය. පොලිස් ගරාජය අසලින් ම වැටුණු පාරෙහි කිලෝමීටරයක් පමණ ගිය තැන මහවත්ත හමුවේ. හැමතැන ම එළහරක් රංචු ය. එළු රෑන් ය. පහුරු ගසන කුකුළන් කිකිළියන් ගෙන් කිසිදු අඩුවක් නොමැත. තවත් තැනක කුණු ගොඩක් වසා සිටින විශාල පරෙවි රෑනකි.
මේ පරිසරය පිරිසිදු යැයි කිසිවකුට කිව නො හැකි ය. නගර සභා සේවක සේවිකාවන් පැමිණ පිරිසිදු කළත් ඒ පවිත්‍රතාව මොහොතකට පමණි. හරක් මඩුවත්, එළු කොටුවත්, කුකුළු කූඩුවක් නැති ගෙයත් දොරක් කිසි සේත් සොයා ගත නො හැකිය. ඒවා ගෙවල් යයි කීවත් බිත්ති කටුමැටි ගසා හෝ ලෑලිවලින් සකසා වහළවලට පොල් අතු හෙවිල්ලා හෝ තහඩු ගසා තිබුණි. සමහර නිවසක ඉදිරිපස ඇත්තේ වැසිකිළි පේළියකි. නැතහොත් හරක් මඩුවකි. ඒ වැසිකිළි ද බාල්දි කක්කුස්සි ය. දවාලට පැමිණෙන සක්කිළි මිනිසා අසූචි ඇදගෙන යයි. සතියකට වරක් පැමිණෙන හුජ්ජ බවුසරය පසුපස වළවල්වලට එකතු වන අපවිත්‍ර වතුර රැගෙන යයි. මේ සියල්ල මැද්දේ රට උළු සෙවිලි කොට, තාප්පයක් බැඳ, පාට වරුණයෙන් බැබැළුණු එකම නිවස රේස් ආච්චිගේ හා රේස් සීයා ගේ වාසස්ථානය යි. මහවත්තේ ඇති එකම හෝටලයත් සිල්ලර කඩයත් ඔවුන් සතු විය.
”හාමිනේ, සීනි අරික්කාලක්, මිරිස් සතපහක, සූදුරු සත දෙහෙක”
”මේ පොල් කොහොමද? පැහිලද? මට පොල් බෑයක් දෙන්න, කීයද?”
”සත තුනයි”
”මුදලාලි පාන් කාලයි, කහට එකයි”
”මට බීඩියකුත් ඕන”
”මට හූනු බිජු සතේක”
”නාගන්ඩ යන්න මට බෝල සබන් කෑල්ලක් දෙන්ඩකො හාමිනේ”
”කොච්චර හේදුවත් ඇඳුම් සුදු වෙන්නෙ නෑ. මට නිල් සතේක දෙන්න”
දහවලට එපමණ සෙනඟක් නො හිටියත් උදෑසනට හා සවසට කඩයටත් හෝටලයටත් කිට්ටු වීමට අපහසුය. ඒ වේලාවට ඒවා සෙනඟින් පිරී යයි. හෝටලයටත් කඩයටත් අවශ්‍ය බඩු බාහිරාදිය රැගෙන එන්නේ රේස් සීයා ය.
බොරැල්ල, කොටුව හෝ පිටකොටුවට ගොස් බඩු මුට්ටුමිල දී ගෙන රික්ෂෝවකට හෝ දෙකකට පැටවූ පසු, රේස් සීයා ට්‍රෑම් කාර් එකකට හෝ ට්‍රොලි බස් එකකට නැඟ පෙරළා පැමිණීම අරඹයි. ඔහු ඉක්මනින් පැමිණෙන්නේ බඩු සොරකම් කරති’යි යන හැඟීමෙන් නොවේ. වෙළඳාම බලාකියා ගැනීම රේස් ආච්චිට පමණක් කළ නො හැකි බැවිනි. ඔවුන් දෙදෙනා මුදල් හම්බ කළේ මේ ආකාරයට ය.
හෝටලයේත්, සිල්ලර කඩයේත් සහායට සිටියේ එක කුසේ උපන් සොහොයුරන් දෙදෙනෙකි. හෝටලයේ මුදල් ගනුදෙනු භාර ව සිටියේ රේස් සීයා ය. සිල්ලර කඩයේ ගනු දෙනු රේස් ආච්චිට භාර විය.
මහ වත්තෙහි මඟුලක් තුලාවක් ඉහළින් පැවැත්වී නම් මේ ගෙදර ය. බාප්පා ගේ මඟුල් ගෙදර දා මුළු මහවත්තම ආලෝකවත් විය. පාර දෙපැත්තෙහි සිංහ කොඩි සිටුවා තොරණ බැඳ දිගට ම සුදු වැලි ඉස තිබුණි. ඊට සහාය දීමට මෙන් බොහෝ දෙනා දින දෙකක් පුරා තමන් ගේ සතුන් ටික කොටු කරගෙන කෑම බීම සැපයූහ. දිවා රාත්‍රි දෙකේ ලවුස්පීකර් වලින් ගීත ඇසෙන්නට විය.
”සුරතලී සංගීතේ රසේ වෙලී තනිවූ දා මා.... සීයා මනමාලයා නාකි ඉලන්දාරියා ... ගිරිහෙල් මුදුනේ මානෙල් නොපිපේ .... නාරිලතා පුෂ්පේ කී ස්ත්‍රී...”
රතිඤ්ඤා හඬ, රබන් හඬ මෙන් ම කොල්ලන් ගේ බීරංග හඬ ද පරිසරය පුරා ගිගුම් දුන්නේ ය. මඟුල් ජෝඩුව රැගත් වාහන පෙරහැර එනතුරු ඇස් කන් අයා පාර දෙපස රැස් ව සිටි පිරිස ද සුළු පටු නො වීය. රාත්‍රියේ දැල්වුණු විදුලි බුබුළු සැණකෙළි සිරියක් ම මවා පෑවේ ය.
රෑ වෙද්දී මඟුල් ගෙදරට ළඟා වූ පිරිස කොතරම්දැයි කියා නිම කළ නොහැකි විය. දෙපස නෑදෑයින්ට අසල්වැසියන්ට වෙනත් හිතවතුන්ට දින වෙන් කර තිබුණත් සෙනඟෙහි අඩුවක් නො වීය. පැමිණි පිරිමින්ගෙන් බොහෝ දෙනා ගියේ වැනි වැනීය. කෙළින් ගමන් කළ පුරුෂයකු වී නම් ඒ කලාතුරකිනි. තනිව යා ගැනීමට නො හැකිවන තරමට මත්පැන් පානය කළෝ අනුන් ගේ කරවල් මතින් නිවෙස්වලට ළඟා වූහ. තෑගි පිණිස දුන් කවරවල බොහෝ විට තිබුණේ රුපියලේ කොළ හෝ රුපියල් දෙකේ කොළ ය. රුපියල් පහක් හෝ දහයක් තිබුණේ ඉතා කලාතුරකිනි. රේස් සීයාත් රේස් ආච්චිත් බොහෝ සතුටට පත්වූහ.
”කන අයට ඇතිවෙන්න කන්න දුන්න. බොන අයට වැටෙන්න බොන්න දුන්න. මඟුල් කන්නෙ හම්බ කරන්න නෙවෙයි. හම්බ කරපුව වියදම් කරල සතුටු වෙන්න”
”අපි හැමදාම කරන්නෙ හම්බ කරන එක. වියදම් කරන්නෙ මේ වගේ දවසක විතරයි”
”ඊයෙ මඟුල් ගෙදර ගියා දන්නව. ආවෙ නං කොහොමද දන්නෙ නෑ”
”ඊයෙ මොනව උණා ද කියල දන්නෙ නෑ”
මඟුල් ගෙදර දී මත්පැන් පානය කළ ඇතැමෙක් පැවසූහ.
මඟුල් ගෙයක් පමණක් නොව, සිංහල අලුත් අවුරුද්ද හැමදා ජයට පැවැත්වුණේ ද මේ නිවසෙහිය. අවුරුදු චාරිත්‍ර අකුරටම පිළිපදින බැවින් නොනගතය අවසන් වන තුරු ගේට්ටුව අගුළු දමා තබනු ලැබේ. මඟුල් ගෙදරට මෙන් ම අලුත් අවුරුද්ද වෙනුවෙන් ද දරුවන්ට, නෑයින්ට, අසල්වැසියන්ට දින වෙන්කර තිබේ. සාලය මැද්දේ මේසයෙහි කෑම බීමවල අඩුවක් නො මැත. පසෙක බුලත් අත් පිරෙද්දී දන නැමෙන පිරිසේ ද අඩුවක් නැත. ඒ හැම දෙනාට ම රේස් සීයා හා රේස් ආච්චි අතින් මුදලක් ලැබෙන්නේ ම ය.
රේස් සීයා හා රේස් ආච්චි මේ සියල්ල කළේ හෝටලයෙන් හෝ කඩයෙන් නොව, රේස් ඔට්ටු ඇල්ලීමේ මහිමයෙන් බව බොහෝ දෙනා ගේ මතය යි. එවක කොළඹ තුරඟ තරග පිටියෙහි තරගයට අශ්වයෝ දුවවනු ලැබූහ. එහිදී බොහෝ දෙනා සමඟ දුවන අශ්වයන් උදෙසා රේස් සීයාත්, රේස් ආච්චිත් ඔට්ටු ඇල්ලූහ. මුදල් රැගෙන කුලී රියකින් එහි ගොස් ඔට්ටු අල්ලන ඒ දෙදෙනා කිසි දිනක පරාජය නො වීය. ඔවුන් රැගෙන ගිය මුදල මෙන් දෙතුන් ගුණයක මුදලක් සැමදා රැගෙන විත් තිබේ. ඔවුන් නාරාහේන්පිට මහවත්තේ ගෙවල් විසි පහක හිමිකාරත්වය දැරුවේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ඒවායින් ලැබෙන කුලිය ඔවුන්ගේ ආදායම තවත් තර කළේ ය.
”අම්මෙ අපිට මේ දේවල් ඔක්කොම ලැබුණෙ ගිය ආත්මෙ හොඳට දන් දීල පින් කරල තිබුණ හින්ද. අපිට ලබන ආත්මයක් කියල එකකුත් තියෙනව. ඒ හින්ද මේ ගෙවල්වලින් දරුවන්ට එක ගානෙ තියාගෙන ඒවයෙ පදිංචිකාරයන්ට ම පුළුවන් ගාණකට ගෙවල් ගන්න කියමු.”
”ඔව් අම්මෙ ඒක හොඳ අදහස. කඩ දෙකත් කොල්ලො දෙන්නට ලියල දෙමු. උන් එදා ඉඳල ම අපි ළඟට වෙලා හොර බොරු නැතුව අපිට හම්බ කරල දුන්න. මේ ගේත් තව කල්පනා කරල දුප්පත් නෑදෑ කෙනෙකුට දෙමු. අපි නොගියත් අපි කී දෙනකු ව දඹදිව යැව්වද? මේ පින් ඔක්කොම අම්මටයි මටයි බුදුන් දැක නිවන් දකින්න හොඳටම ඇති.”
ඔවුහු කිසි දවසක දෙදෙනා ගෙන් කෙනකු මිය ගියත් දරුවන් වෙත නො යාමට තීරණය කළහ. ඒ වෙනුවට එක් අයකු නැති වුවහොත් අනෙක් කෙනා මල්ලිකා නිවාසයට යාමට එකඟ වූහ. දරු තිදෙනා ගෙන් කෙනකුට වත් බරක් නොවන්නට, ඔවුන් මිය ගියවිට අවමඟුල් කටයුතු ඉටුකිරීමට ඉහළ ම මල් ශාලාවට මුදල් බැන්දාහ.
ගෙවල් එකිනෙක ක්‍රමයෙන් ඒවායේ පදිංචි වූවන්ට පැවරිණ. හෝටලයත්, සිල්ලර කඩයත් කී පරිදි එහි සේවය කළ දෙසොහොයුරන්ට හිමි වූහ. දරු තිදෙනා ගෙන් එක් අයෙකුට වත් ඒ තීන්දු තීරණ වෙනස් කළ නොහැකි විය.
කල් ගත වෙද්දී ඔවුන් ගේ නිවස දෙසින් හවස් යාමයේ මුනුබුරු මිනිබිරියන් ළං කරගෙන සාම ජාතකය, මහා සුතසෝම ජාතකය, කිසාගෝතමින්දෑගේ කතා වස්තුව කියා දෙනු අසන්නට ලැබුණි.
”අපේ බෝධිසත්වයො අම්මට තාත්තට සැලකුවෙ ඔහොමයි... අම්මල දරුවන්ට ආදරේ කරන්නෙ ඔය විදිහටයි. ඒ හින්ද අම්මට තාත්තට කීකරු වෙන්න ඕන. සලකන්න ඕන. හොඳ ළමයි වෙන්න ඕන. වෙන්න උත්සාහ කරන්න ඕන.”
හූමිටි තියන රේස් ආච්චි ගේ හඬ සමඟ රේස් සීයාගේ හඬ අවට සුළඟට මුසුවෙයි.
ලෙඩ දුක් ගැන කිසිවක් නො දැන රේස් ආච්චි මුලින් සමුගෙන ගියාය. රේස් සීයා මල්ලිකා නිවාසයෙහි මඳ කලක් සිටියේ ය. ගිවිසුමේ පරිදි ඔවුන් ගේ අවසන් කටයුතු මල් ශාලාවෙන් කෙරිණි.
අද නාරාහේන්පිට මහවත්ත තිබුණු තැනක්වත් සොයාගත නො හැකි ය. හරකකු, එළුවකු තබා වෙනත් කිසි සතකුවත් දක්නට නොමැත. බැලු බැලූ අත තට්ටු පිට තට්ටු නැඟුණු ගොඩනැඟිලිය. කුඩා නිවෙස්වල විසුවෝ ඒවා විකුණා දමා ගොස් ඇත්තාහයි හැඟේ. රේස් සියාටත්, රේස් ආච්චිටත් වඩා ධනය ඇත්තෝ ඔවුන් ගේ වාසස්ථාන මුදලට ගත්තෝ වෙති. බොහෝ වේලාවක් ඒ මේ අත ඇවිද මම රේස් සීයාගේත් රේස් ආච්චිගේත් නිවසවත් ඇද්දැයි විමසා බැලීමි. එවැන්නක් ද සොයාගත නො හැකි ය. කාලය හා මුදල ලෝකය කෙතරම් වෙනස් කර ඇද්ද?
https://archives.silumina.lk/punkalasa/20110320/_art.asp?fn=ar1103202
දමිළ ලේඛක අශෝක මිත්‍රන්ගේගේ කෙටි කතාවක්
සිංහල අනුවාදය බොබී ජී. බොතේජු
දිනක් කාර්යාලයේ වෙන කිසිවකු මා අවට නැති අවස්ථාවක මා වෙත පැමිණි මානික්කරාජ් රහසින් මෙලෙස කීවේ ය. “සෑර් මම ඉල්ලා අස්වීමේ ලිපිය බාරදුන්නා”
දින කීපයකට පෙර සිට ම ඔහු හදිසියේ කිසියම් අනපේක්ෂිත දෙයක් කරතැයි යන සැකය මා තුළ තිබිණ. එසේවතු දු ඔහු රැකියාව අතහැර යතැයි මම කිසිසේත් අපේක්ෂා නොකළෙමි.
“ඒක ලිඛිත ව දුන්න ද?” මම ඔහුගෙන් විමසීමි.
“ඊයෙයි මම ලියුම දුන්නෙ සෑර්”
මානික්කරාජ් ඇස් උඩට හරවා නාට්‍යයක රඟපාන්නේ මෙන් ඇස් කරකවා මෙසේ කීවේ ය. “මේ බොරු මායාකාර ලෝකයේ දිගින් දිගටම බොරු කියමින් ජිවත්වෙන්න මට අවශ්‍ය නැහැ සෑර්” හේ පැවසුවේ ය.
“මොකක්ද බොරුව කියන එකෙන් ඔහෙ අදහස් කරන්නෙ?” මම විමසුවෙමි.
“මම හුඟ දෙනෙකුගෙන් ණය අරගෙන තියෙනවා. දැන් ඒ අය මුදල් ආපසු ඉල්ලනවා මම ඒ හැම දෙනාට ම දිනපතා බොරු කියමින් ඉන්න ඕනෙද?”
“රස්සාවෙන් අස්වුණහම තවදුරටත් බොරු කියන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. එහෙම ද?”
“මම මගෙ අර්ථසාධක මුදලයි පාරිතෝෂිකයයි ලබාගන්නවා. එතකොට මට පුළුවන් ණය සේරම ගෙවල සාමකාමි ජීවිතයක් ගත කරන්න.”
වසර පහළොවක සේවයෙන් පසුව වුවත් ඔහුගේ සුළු වැටුපෙන් අර්ථසාධක අරමුදලට එක් රැස්වී ඇත්තේ කොපමණ මුදලක්ද?
“ඔහෙ මිනිස්සුන්ට කොච්චර ණය තියෙනවද?”
මානික්කරාජ් තරමක් දිග ලැයිස්තුවක් ගෙන එකතු කර නවසීයක් සහ තව රුපියල් ගණනක් එකතුවක් ගැන සඳහන් කළේ ය. ඔහු මගෙන් ලබාගත් රුපියල් තිහක ණය මුදල ඊට ඇතුළත් කර නැති බව මට පෙනිණ. සමහරවිට ඔහුගේ ණය හිමියකු ලෙස මාව නොසලකා හරින්නට ඇත.
අනතුරුව බගවතාර් ඇතුළට පැමිණියේ ය. නියම බගවතාර් කෙනෙකු නායකයකු විය යුතු වුවත් මේ තැනැත්තා නායකයකු නොවේ. හේ දෛනික වැටුපට කාර්යාලයේ සේවය කළේ ය. ඒත් සතියකට දින දෙකක් හෝ තුනකි. සේවය කළ එක් දිනකට රුපියල් තුන බැගින් ඔහුට වැටුප් ලැබිණ. එහෙත් ඔහුගේ උරහිස වටා සාටකයක් නොදමා සිටි අවස්ථාවක් දැකිය නොහැකි විය. ඒ හේතුව නිසා ම අපි ඔහුට බගවතාර යනුවෙන් ඇමතුවෙමු.
“අද ඔහෙට වැඩ නැද්ද?”
"ද රෑ මම රත්‍රි නවයේ වැඩ මුරයට එනවා."
"ඔහෙගෙ යාළුවා මානික්කරාජ්ට මොකද වෙලා තියෙන්නෙ? එයාට හදිස්සියෙ ම ඉල්ලා අස්වෙන්න ඕනෙවෙලා."
"මම දන්නෙ නැහැ සර්. එයා රස්සාවට කැමති නැතිව ඇති"
“මෙච්චර අවුරුදු ගාණක් රස්සාව කරල හදිසියෙම එපාවෙලා? ඒක වෙන්න පුළුවන් ද?”
“මම දන්නෙ නැහැ සර්. ඒක එයාගෙ හෘද සාක්ෂිය”
“හෘද සාක්ෂිය? මොන හෘද සාක්ෂිය ද? හෘද සාක්ෂිය කියන්නෙ මොකක්ද? මට කියන්න”
“ඒක හදවත සෑර්. හදවත කැමැති නැත්නම් ඒක හදවතට බරට දැනෙනවා. ඒක හරි නේද?”
"මානික්කරාජ් උඹට කොච්චර ණය ද?"
ඔහුගේ පිළිතුර ක්ෂණිකව විය. “රුපියල් පන්සීයයි”
“පන්සීයක්? ඒ කියන්නෙ සීයෙ ඒවා පහක්”
“ඔව් සෑර් පන්සියයක්”
“එහෙමනම් උඹ දවස් පඩියට මෙහෙ මොකද කරන්නෙ? උඹ මේ විදියට ණයට දීල තියෙන මුදල කොපමණද? උඹට බැරි ද මට රුපියල් පන්සීයක් ණයට දෙන්න?”
බගවතාර් සිනාසුණේය. “සර් මගෙ කකුලෙන් අදිනවනෙ”
"මම කියන්නෙ... ගිය පාර මම අර පතාන්ගෙන් රුපියල් අසූවක් ණයට ගත්තා. ඒ එක ම ණයට විතරක් මාසික පොලිය රුපියල් දහයක්."
මා කියූ දෙයට බගවතාර්ගේ අවධානය යොමු නොවූ බව පැහැදිලි ය. මා නිමවූ විගස හේ සාක්කුවෙන් කඩදාසියක් ගෙන මා වෙත දිගු කළේ ය. එය රැකියා අයදුම්පතකි. මානික්කරාජ් ගේ රැකියාව.
"මෙතනින් පලයන් යන්න" මම කීවෙමි. "පලයන්"
"පලයන් පලයන්" මම කීවෙමි. "මගෙ දැහැට පෙනෙන තැනක ඉන්න එපා"
"මට රස්සාව දෙන්නෙ නැත්නම් වෙන කෙනෙකුට හරි දේවි නේද? සෑර් එහෙම නොකරාවිද?"
සවස හතරයි කාලට මම ගණකාධිකාරිවරයාගේ කාමරයට පිවිසියෙමි. ඔහු කෝපි පානය කර අවසන් කළා පමණි. "මානික්කරාජ්ගෙ ලියුම් ලැබුණ ද?" මම ඔහුගෙන් විමසීමි.
"ඔව් අද හවස ලේකම්ගෙ අත්සනත් එක්ක ලැබුණා."
"ඔහු දීල තියෙන හේතු මොනවද?"
"ඔහු දීල තියෙන හේතුවල තේරුමක් ඇතැයි කියල මම හිතන්නෙ නැහැ. ඔහු කියනවා ඔහුට අස්වෙන්න ඕනෙ කියලා."
"එයා තරමක වයසක කෙනෙක්. එයාට ටික කාලයක්වත් රැකිල ඉන්න ප්‍රමාණවත් තරම් මුදලක් තියෙනවද?"
"කුප්පුස්වාමි ළඟට ගිහින් මානික්කරාජ්ගෙ ලිපි ගොනුව අරගෙන එන්න. මොන මානික්කරාජ් ද? සෑර්?"
"මෙහෙ මානික්කරාජ්ල නවදෙනෙක් ඉන්නවද? මොන මානික්කරාජ් ද කියල විශේෂයෙන් කියන්න. යන්න ගිහින් ලිපිගොනුව අරගෙන එන්න මොන මානික්කරාජ් ද කියල අහනවා?" මිනිත්තු දෙකකින් ලිපිගොනුව ගෙන එනු ලැබිණ. සියල්ල සූදානම්. "අර්ථසාධකය පාරිතෝෂිකය ඇතුළු සේරම රුපියල් තුන් දහස් තිහයි" ගණකාධිකාරිවරයා පැවසුවේ ය.
මම එම ගණනින් නවසියයක් සිතින් අඩු කළෙමි.
ගණකාධිකාරිවරයා තවදුරටත් කියාගෙන ගියේ ය. "එයාගෙ දුවගෙ විවාහ මංගල්‍යයට ගත්ත ණයෙන් රුපියල් අටසීයක් ගෙවන්න ඉතිරිවෙලා තියෙනවා. අනෙක වැටුප් අත්තිකාරම් ලබාගෙන තියෙනවා. අනික ආපන ශාලාවේ බිල්. අපේ ගබඩාවෙන් ගත්තු දේවල බිල්. ඒ ඔක්කොම දාහකට වැඩියි."
"එතකොට එයාට ඉතිරිවෙන්නෙ රුපියල් දෙසීයයි."
“දෙසීයයි? නැහැ දෙදාහයි මං හිතන්නෙ?”
“නැහැ දෙසීයයි” එසේ කියමින් මම පිටවිමි.
බගවතාර්ගේ රැකියා අයදුම්පත මගේ සාක්කුවේ නතර විය.
කාර්යාලය වසනු ලබන්නේ පස්වරු පහයි තිහටයි. මම කෙළින් ම සයිඩාපෙටිවලට ගියෙමි. එහි මෙට්ටුපලායාම්හි මානික්කරාජ්ගේ නිවස සෙව්වෙමි. මෙට්ටුපලායාම්වලට එම නම ලැබුණේ කෙසේදැයි මම නොදනිමි.
මට පෙනුණ හැටියට එම නිවසේ යටත් පිරිසෙයින් පවුල් දහයක් පමණ වාසය කරමින් සිටින්නට ඇත. මගේ කැඳවීම අසා පිටතට පැමිණි අය අතර මානික්කරාජ්ගේ පවුලේ එකද සාමාජිකයකු ද නොවීය. මඳ වෙලාවකට පසු ඔහුගේ බිරිය දස හැවිරිදි දැරියක ද සමඟ පෙනී සිටියා ය. ඔහුගේ බිරිය ගොත තැනැත්තියක බව ඒ මොහොතේ මට සිහිපත් විය. මානික්කරාජ් තවමත් නිවසට පැමිණ නැත.
“මම එයාට කියන්නම් ගෙදරට ඇවිත් මහත්තයව හමුවෙන්න කියලා” දැරිය කීවා ය.
“ඔව් වරද්දන්නෙ නැතුව එන්න කියන්න” එසේ කියා මම පිටව යාමට සැරසුණෙමි. ඒ මඳ අන්ධකාරයේ ජුබා ඇඳුමින් සැරසුණ තැනැත්තකු ඉදිරියට එනු පෙනිණ. ඔහුගේ අතේ මල්ලකි. ඔව්. ඒ මානික්කරාජ්යි.
“හලෝ සර් කොයිවෙලාවෙද ආවෙ? එන්න සෑර්” හේ පැවසුවේ ය.
“මාත් එක්ක මිනිත්තුවකට එන්න” මම ඔහුව කැඳවාගෙන වීදියේ කෙළවරට ආවෙමි.
“මානික්කරාජ්ට ළමයි කී දෙනෙක් ද?” මම විමසුවෙමි.
“පහයි සෑර්. එක දුවක් ගිය අවුරුද්දෙ විවාහ කර දුන්න ඔබතුමාත් විවාහ මංගල උත්සවේට ආවනෙ.”
“මානික්කරාජ් ඇරෙන්න පවුලෙ වෙන කවුරුවත් රස්සාවක් කරනවද?”
“ඔක්කොමල ගෑනු සෑර්”
“එහෙම නම් රස්සාවෙන් අස්වුණහම ජීවත්වෙන්නෙ කොහොමද?”
“මම කැමති නැහැ බොරු කියමින් ජීවිතේ ගෙවන්න” හේ පැවසුවේ ය.
“මම මට ණය දුන්න හැම දෙනාට ම බොරු කියමින් බේරිලා හිටිය. මම තවදුරටත් බොරු කියමින් ජීවිතේ ගත කරන්න කැමැති නැහැ.”
මම ඔහුගේ මුහුණ දෙස එක එල්ලේ බලා සිටියෙමි. අපගේ ඇස් මුණගැසූ විට ඔහු අසීරුතාවට පත්විය.
“උඹ ණයකාරයන්ට මොනවද කිව්වෙ? කිව්ව ඒ සේරම බොරුද?” මම විමසුවෙමි.
“සෑර් කියන්නෙ ඒව බොරු නොවෙයි කියලද?” හේ දරදඬු ලෙස පැවසුවේ ය.
“වෙන්න පුළුවන්. ඒත් බොරු කියන්නෙ ඒක විතරමද?”
“මම දන්නෙ නැහැ. මම කැමති නැහැ එච්චරයි”
“හොඳයි. උඹ උඹගෙ ණය ගෙවනවා. ඊට පස්සෙ බොරු කියන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. ඒත් මතක තියාගන්න උඹගෙ සල්ලි ඉක්මනට ඉවරවේවි උඹට රස්සාවක් නැහැ. එතකොට උඹ ණය ඉල්ලන්න යන මිනිස්සුන්ට කියන්න තියෙන ඇත්ත මොකක්ද?
“ඇයි අනාගතයේදී සිද්ධ වෙන දේකට දැන්ම තියා කරදරවෙන්නෙ?”
“අනාගතයේදී සිද්ධවෙන? ඒකෙ තේරුම මොකක්ද? අවුරුදු සීයක්? තව මාස දෙක තුනකින් උඹගෙ අතේ සතේ නැතිවේවි. එතකොට උඹ මොනවද කරන්නෙ? උඹට දැන් රස්සාවකුත් තියෙනවා. ඒ තිබිලත් ණයට සල්ලි ගන්න අමාරුයි. උඹට රස්සාවක් නැතිකොට කවුද ණය දෙන්නෙ? එතකොට ණයට ගන්නත් බොරු කියන්න වෙනවා”
“මම ආයි කවදාවත් බොරු නොකියන බවට දිවුරලයි ඉන්නෙ.”
“බොහෝම හොඳයි ණය ගන්න ඕනෙ වුණහම ඉස්සරහටයි පස්සටයි දෙකටම බොරු කියන්න සිද්ධ වෙනව නේද? ණය ගන්නෙ නැතුව ගෙදර නඩත්තු කරන්න යොදපු වැඩ පිළිවෙළ මොකක්ද?”
“උඹගෙ බිරිඳ ගොළු තැනැත්තියක්. උඹගෙන් යැපෙන කුඩා දැරියකුත් ඉන්නවා. ඔවුන්ව විනාශ නොවී රැක බලා ගැනීමත් උඹගෙ යුතුකමක් නෙවෙයි ද?
මානික්කරාජ් කෝපයෙන් මා දෙස බැලුවේ ය. “යන්න සෑර්” ගේ පැවසුවේ ය.
"ඇයි සෑර් මගෙ පුද්ගලික දේවලට මැදිහත්වෙන්නෙ?"
“මම මේ පියවර ගත්තෙ හොඳට කල්පනා කරල බලල. මිනිස්සු ගුරුවරු වගෙ ඇවිත් මට උපදෙස් දෙන්න අවශ්‍ය නැහැ.”
ගුරු යන්නෙහි තිබුණු උපහාසාත්මක ස්වරය නිසා මට ඔහුට පහරදීමට සිතිණ.
“ඕයි. උඹ හිතනවද මීට කලින් කවදාවත් නොදුටු ගුරුවරයෙක් උඹට හම්බ වුණයි කියල? ඔහු දුන්න උපදෙස් මොනවද? ඔහු උඹට මොනවද කිව්වෙ?"
"මගෙ ගුරුතුමාට අපහාස කරන්න එපා."
“මම අපහාස කලා නොවෙයි මම උඹෙනුයි අහන්නෙ? ඔහු උඹව කැඳවල කිව්වද රස්සාවෙන් අස්වෙන්න කියල?”
“නැහැ. ඔහු මට කිව්වා බොරුවෙන් ඉවත්වෙන්න කියලා.”
“උඹ කියන්නෙ බොරුවයි ඇත්තයි අතර තියෙන වෙනස උඹ සහතිකව ම දන්නවයි කියලද? උඹ හිතන්නෙ උඹ බුද්ධිමතෙක් කියලද? එහෙමද? මම හිතන්නෙ උඹ අලි මෝඩයෙක්. ඒ දෙකෙන් මොකක්ද ඇත්ත?” මානික්කරාජ් මොහොතක් නිහඬව සිටියේ ය. මම දිගටම කියාගෙන ගියෙමි. “මම අතීතය වර්තමානය සහ අනාගතය ගැන දන්න කෙනෙක් නෙවෙයි. මට උඹගෙ පපුව විවෘත කරල ඒකෙ ඇතුළෙ තියෙන දේවල් බලාගන්නත් බැහැ. ඒත් මම වෙත කාටවත් වඩා සහතිකව ම දන්නවා උඹගෙ බිරියටයි දරුවන්ටයි ඉන්නෙ උඹ විතරයි. වෙන කවුරුවත් නැහැ. ඒ අයට තනියම ජීවිතේ ගැටගහගන්න බැහැ. උඹ කොහෙන් හරි ණය අරගෙනත් පුළුවන් වෙලා තියෙන්නෙ උන්ගෙ බඩෙන් භාගයක් පුරවගන්න විතරයි. දැන් උඹ භජන්වලයි පූජාවලටයි ගියෙ ඒවයේදී අහන්න ලැබෙන දේවලින් හිත වෙනස් කර ගන්න. උඹට යැපෙන්න තියෙන එකම මාර්ගය අත ඇරල දමල, උඹට මේ ලෝකෙ අත ඇරල වනගත වෙන්න ඕනෙනම් ඒක වෙන ම කාරණයක් ඒත් උඹගෙ ණය ඔක්කොම ගෙවල කියල කවුරු හරි කියනවද? කෙනෙකුට වනගත වෙන්න ඕනෙ නම් ඒ තැනැත්තා කාටවත් කියකියා බලා ඉන්නෙ නැහැ.”
“උඹට ඕනෑ දෙයක් කරන්න පුළුවනි. ඒක නවත්තන්න මම කවුද? උඹගෙ ප්‍රශ්නය එක දෙයක්. ඒත් ඒකෙන් මිදෙන්න කරන්නෙ සම්පූර්ණයෙන් ම වෙනස් දෙයක්. ඒකෙන් උඹගෙ ප්‍රශ්නෙ විසඳෙන්නෙ නැහැ. උඹ කියනවා උඹගෙ ණය කාරයන්ට බොරු කියන්නෙ නැහැ කියල. ඒත් පහුගිය වසර පහළොවෙම උඹ මට කිව්වෙ බොරු. මමත් කැමැතියි බොරු ගැන දැනගන්න දැනට මමත් හරියට දන්නෙ නැහැ. ඒත් මම දන්නෙ නැහැ බොරුවයි ඇත්තයි අතර වෙනස පහසුවෙන් හඳුනාගන්න පුළුවන් බව. දෙකේ පන්තියෙ ළමයෙක් වගෙ උඹ දැන් කරන්න යන වැඩෙත් බොරුවක්. උඹ ගෙ ජීවිතේ ම බොරුවක්. සදහටම බොරුව උඹගෙ ජීවිතෙන් ඈත්වෙනවා නම් කරපන්. උඹ කැමැති දේ කරපන්”
මගේ හුළං බැස්සේ ය. මම ඔහු වෙතින් ඉවත්ව පාරට ආවෙමි. එහෙත් මා පියවර දහයක් පමණ ඉදිරියට තබද්දී ඔහු මා පසුපස දිවවිත් මගේ අත් දෙක අල්ලාගෙන වැලපෙන්නට පටන් ගත්තේ ය.
“මානික්කරාජ් මොකද වුණේ?" මම මහත් වේදනාවෙන් යුතුව විමසුවෙමි.
"මට කිසිදෙයක් වැටහෙන්නෙ නැහැ සෑර්. කිසි දෙයක්. මේ වගෙ අවුල් සහගත අවස්ථාවක කෙනෙක් වැදගත් තීරණ ගත යුතු නැහැ. ඒත් මම ඒ තීරණය ගත්තා. සෑර් දැන් මම කොහෙද යන්නෙ? මගෙ දරුවො මොනව කරාවිද? ඔවුන් බඩගින්නෙ මැරෙයිද? සර් මම දැන් ඒක ලියල දීල ඉවරයි. මම අස්වෙන්න බැහැයි කියල කිව්වත් ඒ අයට මාව දොට්ට දමන්න පුළුවන්.”
පසුදින උදෑසන ලේකම්වරයා තම කාමරයට ගිය විගස ම මම ඔහුගේ කාර්යාලයට ඇතුළු වුණෙමි.
“මොකද?” හේ විමසුවේ ය.
“මානික්කරාජ් ගේ ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරන්න.”
“මානික්කරාජ් කවුරු?”
“ඔහු මට වැඩ කරන කාර්යාල කාර්ය සහායකයා. ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය ලියන වෙලාවෙ ඔහුගෙ හිත නියම තත්වෙ තිබිල නැහැ. ඔහුගෙ ඉල්ලා අස්වීමට කිසිම හේතුවක් තිබිලත් නැහැ.”
“ඔහුට ලියල ඉදිරිපත් කරන්න කියන්න”
“මම දැනටමත් ඔහු අත්සන් කරපු ලිපිය ගෙනාවා.”
මෙම සිද්ධිය සිදුවී දැනටමත් වසර දහයක් ගෙවී ගොසිනි. මානික්කරාජ් තවමත් එහි සේවය කරයි. ජුබා ඇඳුම, තට්ට හිස - ඔහු යාන්තමින් තවත් මිටි වී ඇත. සිව්දිනකට පෙර මට ඔහු හමු විය. ඔහු මා දෙස බලා බිම බැලුවේ ය. ඔහු මට කෘතඥවනවා විය යුතු ය. ඔහුගේ බිරියට සහ දරුවන්ට තවමත් මාව මතක ඇතුවාට සැක නැත. එහෙත් මේ සියල්ල අනුමාන පමණි. මන්ද යත් මානික්කරාජ් ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ඉවත් කරගන්නා ලෙස බලකොට මාසයකට පසු මානික්කරාජ්ට කරන්නට එපා කිව් කාරණය ම එනම් හදිසියේ ඇති වූ සිතිවිල්ලක් මත මම රැකියාවෙන් ඉල්ලා අස්වුණෙමි.
https://archives.silumina.lk/punkalasa/20110227/_art.asp?fn=ar1102272
පරිවර්තනය විජය ජයසූරිය
ඊව්ලින් ජනේලය අසල වාඩිවී සන්ධ්‍යාව මාවත ආක්‍රමණය කරන අයුරු බලා සිටියා ය. ඇගේ හිස ජනෙල් තිර රෙද්දට හේත්තු වී තිබු අතර දූවිලි ගැසුණු කපු රෙද්දෙහි දුගඳ ඇගේ නාස්පුඩු තුළ රැඳිණ. ඕ වෙහෙසට පත් ව සිටියා ය.
මිනිස්සු කිහිප දෙනෙක් පියමන් කර ගියහ. කෙළවරේ ම වූ නිවසේ මිනිසා ද සිය නිවස වෙත යමින් සිටියේ ය. ඔහුගේ පියවර කොන්ක්‍රීට් පදික වේදිකාවේ ගැටෙන හඬත්, අනතුරු ව අලුත් රත් පැහැ ගෙවල ඉදිරිපස අඟුරු ඇතිරු මංපෙතෙහි නැඟු ‘කර කර’ හඬත් ඇයගේ සවන පතිත විය. කලකට පෙර එහි තිබූ හිස් බිමෙහි හැම සැන්දෑවක ම අන් ගෙවල ළමයින් හා සෙල්ලම් කිරීමට ඔව්හු පුරුදු ව සිටියහ.
ඉක්බිත්තෙන් බෙල්ෆාස්ට්වලින් පැමිණි මිනිසෙක් එබිම මිලට ගෙන එහි ගෙවල් තැනී ය. ඒවා ඊව්ලින්ලාගේ කුඩා දුඹුරුවන් ගෙවල් මෙන් නොව දිලිසෙන පියසි වලින් යුත් කලඑළියෙන් යුත් ගඩොල් නිවාස විය.
ඩෙවින්, වෝටර්ස්, ඩන්ස් යන පවුල්වල ළමයි හා කියෝ නම්වූ කුඩා කොර ළමයා ද ඊව්ලින් හා ඇගේ සොහොයුරු සොහොයුරියන් සමඟ මේ මුඩු බිමෙහි ක්‍රීඩා කිරීමට පුරුදු ව සිටියහ. කෙසේ වුවත් අර්නස්ට් ක්‍රීඩාවට නො පැමිණියේ ඔහු වයසින් වැඩී සිටියකු බැවිනි. ඔවුන්ගේ පියා බොහෝ විට ඔවුන් මේ පාළු බිම්කඩෙහි දී සොයා ආවේ ඔහුගේ කළු කටු සහිත කෙවිට ද අතෙහි ඇති ව ය. එහෙත් කුඩා තියෝ ඔත්තු බලමින් සිට පියා එන විට ඔවුනට දැනුම් දුන්නේ ය.
එසේ වුවත් ළමයි ඒ කාලය සතුටින් ගත කළ බව පෙනෙන්නට තිබිණ. පියා එ කල එතරම් නපුරු නොවී ය; මව ද ජීවතුන් අතර සිටියා ය. ඒ බොහෝ කලකට පෙර ය. දැන් ඊව්ලින් හා ඇගේ සොහොයුරු සොහොයුරියන් ද වයසින් වැඩී සිටියහ; මව මිය ගොස් ය. ටිසී ඔන් ද මළවුන් අතර ය. වෝටර්ස් පවුල ද ආපසු එංගලන්තයට ගොස් සිටියහ. දැන් අනෙකුත් අය මෙන් ම ඇය ද ගෙදරින් පිට ව යන්නට සූදානමින් සිටියා ය.
ගෙදර! ඇය කාමරය හාත්පස නෙත් හෙළුවා ය. වසර ගණනාවක් තිස්සේ මෙතරම් දූවිලි කඳක් ආවේ කොහෙන්දැයි සිතමින් ගසා දමා සතියක් පාසා පිරිසිදු කළ සුපුරුදු භාණ්ඩ දෙස නැවත නැවතත් සැලකිල්ලෙන් බැලුවා ය. ඇතැම් විට ඒවායින් වෙන් වීමක් ගැන නොසිතූ නමුත් ඒවා යළි ඇයට දකින්නට නො ලැබෙනු ඇත.
කෙසේ නමුත් පූජනීය වූ මාග්‍රට් මේරි ඇලකෝක්ට දුන් වර්ණයෙන් මුද්‍රිත ප්‍රතිඥා පාඨය අසල වූ කැඩුණු වාද්‍ය භාණ්ඩයට උඩින් බිත්තයෙහි එල්ලෙමින් තිබු පඬු පැහැ ගැසුණු සේයාරුවෙහි වූ පූජකයාගේ නම සොයා ගැනීමට, මේ ගතවූ අවුරුදු ගණනාවක කාලය තුළ ඇයට නො හැකි විය. ඔහු ඇයගේ පියාගේ පාසල් මිතුරකු විය. අමුත්තකුට ඒ පින්තූරය පෙන්වූ හැම වරෙක ම ඔහු පැවසුවේ ‘එයා දැන් ඉන්නෙ මෙල්බෝන්වල’ යන නොසැලකිලිමත් වදන ය.
ඊව්ලින් පිට ව යාමට, තම නිවස හැර යාමට කැමැත්ත දී සිටියා ය. ඒ කෙතෙක් නැණවත් ක්‍රියාවක් ද? ප්‍රශ්නයේ දෙපැත්ත ම මැන බැලීමට ඇය වෙහෙස ගත්තා ය. ඇගේ නිවසේ ඇයට කෑම හා සෙවණ ද ලැබිණ; ජීවිත කාලයක් ඇය දැන සිටි හැම කෙනෙක් ම ඇය අසල සිටියහ.
ඇයට වෙහෙසවී ගෙදරත් සාප්පුවේත් වැඩ කිරීමට තිබු බව ඇත්ත ය. ඇය කිසිවකු සමඟ පැන ගිය බව දැන ගත් විට ඔවුන් ඇය ගැන කුමක් කියාවිද? ඇය මෝඩියකැයි ඇතැම් විට ඔවුන් කියනු ඇත.
එසේ ම ඇයගේ පුරප්පාඩුව දැන්වීමක් මඟින් පුරවාලනු ද ඇත. ගේවන් මහත්මිය නම් සතුටට පත්වනු ඇත. ඇය නිතර ම, විශේෂයෙන් අසා සිටීමට අයවළුන් සිටින අවස්ථාවල ඊව්ලින්ට කතා කළේ සැර පරුෂ ලෙස ය.
‘මිස් හිල්... ඔයාට පේන්නෙ නැද්ද මේ නෝන මහත්තයල බලා ඉන්නව කියල... ටිකක් ඉක්මන් කරන්න... මිස් හිල්... කරුණාකරල...’
සාප්පුව හැර යන්නට සිදුවීම ගැන ඇය කඳුළු නොහෙළනු ඇත. එසේ වුවත් නො දන්නා ඈත රටක ඇගේ අලුත් නිවහනේදී එය එසේ නොවනු ඇත. එවිට ඇය විවාහක කතක් වනු ඇත.
ඇය ඊව්ලින්... එවිට මිනිසුන් ඇයට ගරුත්වයකින් සලකනු ඇත. ඇයගේ මවට කළ ආකාරයේ නොසැලකිලි ඇයට නො ලැබෙනු ඇත. දැන් පවා ඇයට වයස දහනවයකට ද වැඩි වුවත් ඇතැම් විට සිය පියාගේ සැහැසිකම් පිළිබඳ අනතුරක් ඇයට දැනිණ. ඇගේ හදවත ගැහෙමින් පැවතියේ එමඟින් බව ඇය දැන සිටියා ය.
ඔවුන් කුඩාවුන්ව සිටියදී හැරීටත් අර්නස්ට්ටත් ගැසූ අයුරින් ඔහු ඇයට පහර නොදුන්නේ ය; ඒ ඇය ගැහැනු ළමයකු නිසා ය. එහෙත් මෑතක සිට ඔහු ඇගේ මව නිසා නොවේ නම් ඇයට කරන දෙය මේ යැයි කියමින් තර්ජනය කරන්නට පටන්ගෙන ඇත. දැන් ඇය ව ආරක්ෂා කරන්නට කිසිවෙකුත් නොවී ය. අර්නස්ට් මියගොස් සිටි අතර පල්ලියේ සැරසිලි ව්‍යාපාරයට එක් ව සිටි හැරී හැමවිට ම වාගේ පිටත ගොස් සිටියේ ය.
ඒ හැරෙන්නට හැම සෙනසුරාදාවක ම රැයේ සිදුවන මුදල් සඳහා වූ හටන ඇය ව දැඩි ලෙස වෙහෙස කරවන්නක් විය. ඇය ඇගේ මුළු වැටුප ම සිලිම දක්වා ම ගෙදරට යෙදවූ අතර හැරී ද ඔහුට හැකි පමණ එව්වේ ය. ප්‍රශ්නය වූයේ පියාගෙන් කිසි මුදලක් ලබා ගැනීමට නොහැකි වීම ය.
ඇය මුදල් නාස්ති කිරීමට පුරුදු ව සිටින බවත්, ඇයට මොළයක් නැති බවත් එබැවින් ඔහුගේ මහන්සියෙන් උපයාගත් මුදල් වීදිවල වීසිකර දැමීමට නො දෙන බවත් ඔහු කීය. එ පමණක් නොව හැම සෙනසුරාදා රැයක ම පාහේ ඔහුගේ හැසිරීම ඉතා නරක අතට හැරෙමින් තිබිණ. අවසානයේ ඇයගේ අතට මුදල් දෙන ඔහු ඉරිදා රාත්‍රී ආහාරය පිටින් මිලට ගන්නට අදහසක් ඇත්දැයි ද ඇගෙන් විමසන්නට විය.
ඊළඟට ඇයට සිදුවූයේ හැකිතාක් කඩිනමින් ගෙන් පිට ව ගොස් ඇයගේ කළු පැහැ සම් පසුම්බිය තරයේ අතින් ගෙන සෙනග අතරින් තෙරපී ගොස් අවශ්‍ය දෑ මිලදී ගන්නටත්, ඒ බර ද රැගෙන ප්‍රමාද වී ගෙදර එන්නටත් ය. නිවෙස පිළිවෙළකට තබා ගන්නටත්, ඇය භාරයේ තබා තිබූ කුඩාවුන් දෙදෙනා නිතිපතා පාසල් යැවීමට හා ඔවුන්ගේ කෑම හරිහැටි සැපැයීමටත් විශාල වැඩ කොටසක් කිරීමට ඇයට සිදුවිය. එය සෑහෙන බර වැඩ කොටසක් වූ අතර අසීරු ජීවිතයක් ද විය. එහෙත් දැන් ඇය පිට ව යාමට සැරසී සිටි බැවින් එය මුළුමනින් අප්‍රසන්න ජීවිතයක් ලෙස ඇයට නොදැනිණ.
ඇය දැන් ෆ‍්‍රෑන්ක් සමඟ වෙනත් ජීවිතයක් අත්හදා බලන්නට සූදානම් ව සිටියා ය. ඔහු ඉතා කරුණාවන්ත ද පෞරුෂවත් හා විවෘත ද වූයේ ය. ඔහු සමඟ රෑ බෝට්ටුවෙන් ගොස් ඔහුගේ බිරිය බවට පත් ව ඇය එනතුරු බුවනෝස් අයර්ස් නගරයේ ඔහුට තිබු නිවසෙහි ඔහු සමඟ දිවි ගෙවීමට ඇය සැදී පැහැදී සිටියා ය. ඔහු මුලින් ම දුටු දිනය ඇයට හොඳින් මතක ය. ඇය ගමන් කළ මාර්ගයෙහි පිහිටි නිවසක ඔහු නැවතී සිටියේ ය. එය සති කිහිපයක තරම මෑතක සිදුවූවක් ලෙස ය ඇයට දැනුණේ.
ඔහු ගේට්ටුව අසල සිටගෙන සිටි අතර හිසෙහි වූ පීක් කැප් එක හිස පිටුපසට ඇද කෙස්වැටිය ඔහුගේ තඹවන් මුහුණ මත වැටී තිබිණ. ඉක්බිති ඔව්හු එකිනෙකා හැඳින ගත්හ. දිනපතා හැන්දෑවේ සාප්පුව පිටතදී ඇය ව හමුවී නිවස දක්වා කැටුව යාමට ඔහු පුරුදු විය. ඔහු ඇය ‘බොහීමියන් කෙල්ල’ නම්වූ නළුව බැලීමට ගෙන ගිය දින ශාලාවේ නුපුරුදු පැත්තක ඔහු සමඟ හිඳීමෙන් ලැබුවේ ඉමහත් සතුටකි. ඔහු සංගීතයට තදින් ඇලුම් කළ අතර මඳක් ගායනා ද කළේ ය. ක්‍රමයෙන් මිනිසුන් ඔවුන් දෙදෙනා ආදරවන්තයින් බව දැනගත් අතර, නාවිකයකුට ආදරය කළ තරුණිය පිළිබඳ ඔහු ගැයූ ගීතයක් ඇසීමෙන් ඇයට දැනුණේ ප්‍රසන්න එහෙත් වියවුල් සහගත හැඟීමකි. ඔහු ඇයට සෙල්ලමට ඇමතුවේ ‘පොපන්ස්’ යනුවෙනි.
තරුණයකු ඇසුරු කිරීම මුලදී සිත චංචල වීමක් පමණක් වුවත් අනතුරු ව ඇය ඔහුගේ ඇසුර පි‍්‍රය කරන්නට වූවා ය. ඔහු ඇයට ඈත රටවල් ගැන කතන්දර කීවේ ය. ඔහු මුලින් රැකියාව කර තිබුණේ කැනඩාවට ගමන් ගත් ‘ඇලන් ලයින්’ නම් වූ නැවක ඩෙක් සහායකයකු ලෙස මකට පවුමක වැටුපකට ය. ඔහු සේවය කර තිබූ නැව්වල නම් හා විවිධ සේවාවල නම් ද ඔහු ඇයට පැවසුවේ ය. මැගලන් සමුද්‍ර සන්ධිය ඔස්සේ ද යාත්‍රා කර තිබු ඔහු බිහිසුණු පැටගෝනියන්වරුන් ගැන කතා ද ඇයට කියා දුන්නේ ය. ඔහුට බුවනෝස් අයර්ස් හිදී ජීවිතයේ වාසනාව උදා වූ බවත්, ආපසු සිය රටට නිවාඩුවකට ආ බවත් ඔහු ඇය සමඟ තවදුරටත් කීවේ ය. කෙසේ වෙතත් දෙදෙනාගේ සම්බන්ධය දැනගත් ඇයගේ පියා ඇයට ඔහු හා කතා කිරීමටවත් තහනම් කළේ ය.
‘මං දන්නව ඔය නාවික හාදයො ගැන...’ යි හේ පැවසී ය.
දිනක් ඔහු ෆ‍්‍රෑන්ක් සමග දබර කරගත් පසු ඉතා රහසිගත ව සිය පෙම්වතා හමුවීමට ඇයට සිදුවිය.
මාවත පුරා සැන්දෑව විහිද ගියේ ය. ඇගේ උකුළෙහි තිබූ ලිපි දෙකෙහි සුදු පැහැය සැඳැ අඳුර මැද බොඳ වී ගියේ ය. ඉන් එකක් හැරීට ද අනික පියා වෙත ද ලියැවිණ. අර්නස්ට් ඇගේ පි‍්‍රයතමයා වූ නමුත් හැරීට ද ඇය ආදරය කළා ය. පියා මෑතක සිට වියපත් වන ලකුණු ඇයට පෙනිණ. ඔහු ඇයගේ වෙන්වීම ගැන දක්වනු ඇත. ඇතැම් විට ඔහු ඇයට ඉතා කරුණාවන්ත ද වූයේ ය. ළඟදී දවසක ඇය රෝගී ව වැතිර සිටියදී ඔහු ඇයට හොල්මන් කතාවක් කියැවූවා පමණක් නොව ඇයට කෑමට පාන් ද කර කර දුන්නේ ය. ඇගේ මව ද ජීවත්ව සිටි කාලයේ දිනක් සියල්ලන් ම හෝක් කඳුකරයේ චාරිකාවක ගොස් සිටියදී දරුවන් හිනැස්සීමට ඔහු මවගේ හිස්වැස්ම ගෙන සිය හිසෙහි දමාගත් අයුරු ද ඇයට සිහි විය.
කාලය ක්‍රමයෙන් කෙටි වුවත් ඇය ජනෙල් රෙද්දට හිස ගසාගෙන එහි සුවඳ විඳිමින් සිටියා ය. වීදිය පහළ ඕගනයක් වැයෙනු ඇයට ඇසිණ. අමුතු තාලයකට හැමූ සුළඟ ඇයට හැකිතාක් නිවස සුරැකි ව තබා ගැනීමට තමා අම්මාට වූ පොරොන්දුව සිහිපත් කළේ ය. අම්මා රෝගී ව සිටි අන්තිම රැය ද ඇයට සිහි විය. සාලය අනික්පස වූ අඳුරු කාමරයේ ඇය සිටින අතර ඉතාලියේ සෝබර සුළඟේ නාදය ඇයට ගෙන් පිටත ඇසෙන්නට විය. ඕගන් වාදකයාට පැන්ස හයක් දී වාදනය නතර කරන ලෙස ඉල්ලු නිසා සෘජු ගමනින් ආපසු ලෙඩාගේ කාමරයට ආ හැටි ඇයට මතක ය.
‘වදකාර ඉතාලිකාරයෝ... මොනවට මෙහාට එනවද මන්දා...’
කල්පනාබර ව සිටින අතර සිය මවගේ ජීවිතයේ දුක්බර මතකය ඇයගේ හදවතට ම කිඳා බැස්සේ ය. එය සාමාන්‍ය කැපකිරීම්වලින් පිරුණු ජීවිතයක් උන්මාදයකින් මෙන් අවසන් වූ නියාවකි. දුරදිග නොබලා කොතෙකුත් කරන බලපෑමකින් ද යුත් මවගේ කටහඬ නැවත නැවතත් ඇසෙත් ම ඇය වෙව්ලන්නට වූවා ය.
හදිසි භීතිකාවක පෙලඹවීමෙන් ඇය නැඟී සිටියා ය. පලා යාම! ඇය පලා යා යුතු ය! ෆ‍්‍රෑන්ක් ඇය ව ගලවා ගනු ඇත. ඔහු ඇයට ජීවිතය ලබා දෙනු ඇත. ඇතැම් විට ආදරය ද දෙනු ඇත. කෙසේ වෙතත් ඇයට අවශ්‍ය වූයේ ජීවත්වීමට ය. ඇය නොසතුටින් සිටිය යුත්තේ ඇයි? සතුටින් ජීවත්වීමට ඇයට අයිතියක් ඇත. ෆ්‍රෑන්ක් ඇය ව දෑතින් ගෙන හොවා ගනු ඇත. ඔහු ඇය ව ගලවා ගනු ඇත.
*
ඇය නෝත් වෝල් දුම්රිය පොළේ තෙරපෙන සෙනග අතර සිටගෙන සිටියා ය. ඔහු ඇයගේ අතින් අල්ලාගෙන ඇයට කතා කරමින් ගමන ගැන නැවත නැවතත් මොනවාදෝ කියමින් සිටි බව ඇයට දැනිණ. දුඹුරු පැහැ මළු රැහෙත් සොල්දාදුවන්ගෙන් දුම්රියපොළ පිරී තිබිණ. ආලෝකමත් කවුළු ඇති ව නැව් තොට බැම්ම අසල නවතා තිබූ බෝට්ටුවේ අඳුරු රූපයෙන් බිඳක් කුටිවල පුළුල් දොරවල් තුළින් ඇයට පෙනිණ. ඇය පිළිතුරු වශයෙන් ඔහුට කිසිවක් නොකීවාය. සිය කොපුල් සුදුමැළි හා සීතල ව ගොස් සිටි ඇය ශෝකයේ අවුල් ජාලයක් තුළින් තමාට නිසිමඟ පෙන්වන ලෙසත්, තම යුතුකම කුමක්දැයි කියා පෙන්වා දෙන ලෙසත් දෙවියන්ට යදිමින් සිටියා ය.
බෝට්ටුව මීදුම තුළට දිගු හා ශෝකාකූල නළා හඬක් නැංවී ය. ඇය ගියොත් හෙට ඇය ෆ‍්‍රෑන්ක් සමඟ බුවනෝස් අයර්ස් බලා මුහුදෙහි යාත්‍රා කරනු ඇත. ඔවුන්ගේ නාවික ගමන වෙන්කරගෙන තිබිණ. ඔහු මේ වන විටත් තමා වෙනුවෙන් කර තිබු මෙහෙය බලන කල ඇයට නොගොස් සිටිය හැකි ද? ඇගේ සන්තාපය ඇය තුළ වමනය ඇති කරන තරම් වූ අපහසුවක් ඇති කළ අතර ඇය දැඩි උනන්දුවෙන් නිහඬ ව දෙතොල් පමණක් සොලවමින් යාච්ඤා කරමින් සිටියා ය.
හදිසියේ ම ඇගේ හද තුළ සීනුවක් නාද වන්නා සේ දැනිණ. ඔහු ඇගේ අතින් අල්ලා ගනු ද ඇයට දැනෙයි.
‘එන්න...’
මුළු ලොව ම ඇති මුහුදු ඇයගේ හදවත සමීපයේ තෙරපෙන්නට මෙන් විය. ඔහු ඒවා දෙසට ඇය ව අදිමින් සිටියේ ය. එමඟින් ඔහු ඇය ව දියෙහි ගිල්වනු ඇත. ඇය දෑතින් ම දුම්රිය පොළේ යකඩ වැට තදින් අල්ලා ගත්තා ය.
එන්න!’
බැහැ... බැහැ... බැහැ... එය කිසිසේත් කළ නොහැක්කක්... ඇගේ දෑත් ඉමහත් උන්මාදයකින් යකඩ වැට අල්ලා ඩැහැ ගත්තේ ය. මුහුදු අතර ඇය බලවත් සන්තාපයක හඬක් නැඟුවා ය.
‘ඊව්ලීන්... ඊවි...’
ඔහු වැට පිටුපසට දිව ගොස් ඇයට ද එන ලෙස කතා කළේ ය. දිගට ම යන ලෙස ඔහුට කෑගසා කියනු ලැබුව ද ඔහු තවදුරටත් ඇයට කතා කරමින් සිටියේ ය. ඇය සිය සුදුමැළි වූ මුහුණ අසරණ සතකුගේ මෙන් අක්‍රිය ව ඔහු දෙසට හැරවූවා ය. ඇගේ දෙනෙතින් ඔහුට ආදරයක, සමුදීමක හෝ හැඳිනීමකවත් කිසිදු ලකුණක් දක්නට නොතිබිණ.
https://archives.silumina.lk/punkalasa/20100502/_art.asp?fn=ar1005023
50
විවිධ ප්‍රසංගය
- චන්ද්‍රසේන කොඩිතුවක්කු
දියණිය පෙර පාසලට ඇරලවා බියට්‍රිස් ආපසු පැමිණියේ මහමෙරක් හිසින් දරාගෙනය. ඇය වෙනදාට වැඩි වේගයෙන් රිය පැදෙව්වා ය. නිවසට හැරෙන තැන ගාටමින් සිටි මහලු මිනිසෙක් ඇගේ නළා හඬින් තිගැස්සී ඉවතට පැන ගත්තේ ය. රථය පෝටිකෝවෙහි නතර කළ බියට්‍රිස් ඇයගේ කකුල්වලට දැවටෙමින් වලිගය කඩා ගන්නට හැදු පොමනේරියන් බලු පැටවා දෙසවත් නොබලා දිගට ම ගියේ දුරකථනය වෙත ය.
“පාලිත ඔයාට හවස් වරුවේ නිවාඩු දාලා එන්න පුළුවන් ද? ඇයි කියලා අහන්නේ මතක නැද්ද? අනේ හැබෑට ම ඔයා මොන ලෝකෙක ජීවත් වෙනවද කියලා මට තේරෙන්නේ නැහැ. දුවගෙ මොන්ටිසෝරියේ කොන්සට් එකට තව දවස් තුනයි. ඔයාට ඒකේ වගක්වත් නෑ. දුව නැටුම් කණ්ඩායමටත් තෝරාගෙන. සිස්ටර් කිව්වා අපේ දුව බෙස්ට් කියල. එයාට වුවමනා ඇඳුම් පැලඳුම් ටික අද ම ගන්න ඕන. මහන්නත් කල් තියෙන්න එපායැ. මටත් සාරියක් ගන්න ඕන. එහෙනම් හවස එනවනේ. මොකක්ද ඒයි ඔයාට හැමදාම මීටින් මීටින්. තමුසෙට ඕන කුදයක් ගහගන්න එකයි තියෙන්නේ. මොකක්?... තමුසේ මට කියන්න ඕන නෑ කමලාවතිත් එක්ක යන්න.”
බියට්‍රිස් මුහුණ කොට්ටයේ ඔබා ගෙන ඇඳෙහි මුනින්තලා වී සිටියා ය. ඇගේ උර දෙක වරින් වර ගැස්සෙනු කමලාවතීට පෙනිණ. තොරතෝන්චියක් නැතිව නහයෙන් සුරූස් හඬක් පිටවිය.
“ඕක ඔය හැටි ගණන් ගන්න එපා නෝනා. මං එන්නන් නෝනත් එක්ක ෂොපින් කරන්න.” කමලාවතී කීවා ය.
“පලයන් යන්න මෙතැනින් මගේ යකා අවුස්සන්නේ නැතුව“
බියට්‍රිස් ඇයට කඩා පැන්නා ය.
කමලාවතී පසුබෑවේ බලාපොරොත්තු කඩකරගෙන නොවේ. “ෂුවර් එකට ම අද මහත්තයා වේලාසන එන්නේ නැහැ. නෝනා බේබිගේ වැඩේ අත්හරින්නෙත් නැහැ. මාත් එක්ක ෂොපින් කරනවා හැරෙන්න නෝනාට වෙන කරන්න දෙයක් නැහැ. බලමුකො කමලාවතියෙ කියාගෙන එන හැටි.” ඇය මුළුතැන්ගෙට ගොස් කුටු කුටු ගෑවා ය. නැවත ඇය නෝනාගේ නිදන කාමරයට ගියේ බේබි එක්කගෙන ඒමට යන වෙලාව ළංවී ඇති බව දැන්වීමට ය.
“කමලාවතී උඹත් ලේස්තිවෙයන් මාත් එක්ක ටවුන් යන්න.”
බියට්‍රිස් ගස් දෙබලක පොත්තක් මෙන් ඇඟට හිරවුණු කලිසමක් සහ අත් නැති හැට්ටයක් සාප්පු සවාරිය සඳහා තෝරා ගත්තේ තම ස්වාමිපුරුෂයා අකැමැති ම මෝස්තරය එය වූ බැවිනි. ඇය ඇඳ සිටි උඩුකය ඇඳුමෙන් ආවරණය වූයේ ලැමෙන් සීමිත ප්‍රදේශයක් පමණි. කොණ්ඩය පිට දිගේ මුදා හැර අයාලේ යන්නට ඉඩ හැරි ඇය මෝටර් රථය වෙත පිය නැගුවේ ඇට්ටරකමක් හිතට අරගෙන ය. කමලාවතී ද කූඩුවෙන් නිදහස් වූ කිරිල්ලියක මෙන් එළියට බැස්සා ය. ඔවුන් පෙර පාසලට යන විට එහි රැඳී සිටියේ දියණිය සචිනි සහ තවත් හීන්දෑරි ගැහැනු ළමයෙකුත් පමණි. ඔවුහු ලිස්සන බෝට්ටු පදිමින් සිටියහ.
“සචිනි අම්ම ඇවිල්ල ඉන්නව පේන්නෙ නැද්ද?” ගුරුතුමිය වාහනය දෙසට එමින් ඇසුවා ය.
“තව චුට්ටක් සෙල්ලම් කරල එනව ටීචර්” ගුරුතුමිය බියට්‍රිස් දෙස බලා මඳහස පෑවා ය.
“ඒ දෙන්න හරි ම එකතුයි. ඒ ළමයගෙ තාත්ත ආව එක්කන් යන්න නමුත් ගියේ නැහැ. සචිනිට පාළුයිනේ ටීචර් මාත් ගියහම කියල නැවතුණා.”
“දුව අපි ටවුන් යන්න හදන්නේ... ඔයා එන්නෙ නැත්නම් ඕන් අපි ගියා” ළමයි දෙදෙනා මෝටර් රථය දෙසට පිම්මේ දිව ආහ.
“අම්මි, මේ කාන්තිට මටත් වැඩිය හොඳට නටන්න පුළුවන්. ඒත් එයා නැටුමට එන්නෙ නෑලු අම්මි.”
“ඇයි ඒ”
“එයාගෙ තාත්තිට සල්ලි නෑලු ඇඳුම් ගන්න. අපි එයාටත් ඇඳුම් අරන් දෙමුද අම්මි. ඔයා මගෙ සුදු අම්මිනේ.”
සචිනි අම්මාට තුරුල් වෙමින් කීවා ය.
“එයා ගැන බලා ගන්න එයාගෙ දෙමව්පියො ඉන්නව. ඔයා පැහෙන්නෙ නැතුව ඉන්නව.” බියට්‍රිස් එසේ කීවේ දියණියට ඇස්වලින් ද තරවටු කරමිනි.
“මිසිස් බියට්‍රිස්ට යන්න හදිසි නැත්නම් මට පොඩි කාරණයක් තියෙනව කියන්න.”
“හදිසියක්මත් නෑ මිසිස් පෙරේරා අපි කතා කරමු.”
ගුරුතුමිය ඇය පසෙකට කැඳවාගෙන ගොස් මෙසේ කීවා ය.
“මිසිස් බියට්‍රිස්ට නිසා මං මෙහෙම කියන්නෙ. කාන්තිගෙ අම්ම රට ගිහිල්ල. මොන්ටිසෝරියෙ ගාස්තු නම් මට එයා කෙළින් ම එවනව. ගෙදරටත් සල්ලි එවනව ඇති. මට පේන්නෙ තාත්ත ළමයි ගැන සැලකිල්ලක් නෑ වගේ. මේකයි මට කියන්න ඕන වැදගත් කාරණේ. ඩාන්සින්වලදි හොඳ ප්‍රබෝධමත් මානසිකත්වයක් ළමයට තියෙන්න ඕන. සචිනි ඒ ළමය කණ්ඩායමෙන් අයින් කළාට පස්සේ ඕනවට එපාවට අතපය වනනව මිසක් නටන්නේ නැහැ. මිසිස් බියට්‍රිස්ලට පුළුවන්කමක් තියෙනව නම්...”
ඇය කියන්නට ආ දේ ගිල ගත්තා ය. “කියන්න මිසිස් පෙරේරා අපේ ළමයා වෙනුවෙන් අපි ඕන දෙයක් කරනව“
“මිසිස් බියට්‍රිස්ලට පුළුවන් නම් කාන්තිට... ඇඳුම්... ගන්න... උදව් කරන්න. ඒක හුඟාක්... වටිනවා.”
ගුරුතුමිය වචන පිට කළේ කටපාඩම් කරගත් යමක් අමාරුවෙන් මතක් කර ගනිමින් කියන්නාක් මෙනි. ඇය මඳක් නිහඬ ව සිට නැවතත් කටහඬ අවදි කළා ය.
“මේ නැටුම් සන්දර්ශනය පුළුවන් තරම් සාර්ථක කර ගන්න ඕන. මොකද, රූපවාහිනී සංස්ථාවෙනුත් එනව කියල මට උදේ ලොකු ටීචර් කෝල් කරල කිව්ව. එයාලට ඕනලු ඇඩ්වටීස්මන්ට් එහෙකට හොඳ සීන්ස් ටිකක් ගන්න.”
ඔවුහු ගුරුතුමියගෙන් සමු ගත්හ. සචිනි කාන්තිත් සමඟ පසුපස අසුනෙහි හිඳ ගත්තා ය. ඉස්සරහ සීට් එකට එන්නැයි මව කොතෙක් පෙරැත්ත කළත් ඇය ඊට එකඟ වූයේ නැත.
විවිධ ප්‍රසංගය පැවැත්වෙන දිනය වන විට අඹුසැමි යුවලගේ නොහොඳ නෝක්කාඩු බොහෝ දුරට තුනී වී තිබිණ. පාලිත එදින දවස ම නිවාඩු දමා තිබීම බියට්‍රිස් අමන්දානන්දයට හේතු විය.
“හප්පෝ ඇති යන්තන් අපේ මහත්තය නිවාඩුවක් දැම්ම. අද වහීවි මයි හිතේ.”
එදින පෙර පාසල වෙත යද්දී ඇය තම ස්වාමියාට ඔච්චම් කළා ය.
“නිවාඩු නොදා කොහොමද අපේ කෙලි පැටියගෙ දක්ෂකම් බලන්නෙ”
“මං හොඳට නැටුවොත් තාත්ති මට මොනවද දෙන්නේ” සචිනි අම්මාගේ උකුලේ සිට තාත්තා පැත්තට බරවෙමින් ඇසුවා ය.
“නැටුම අවසාන වුණාට පස්සේ මම දුවට දෙනවා... හොඳ... අත්පොළසන් නාදයක්”
පාලිත එසේ පවසා කොක්හඬලෑවේ ය. බියට්‍රිස්ට ද සිනහ ව නතර කර ගැනීමට නොහැකි විය.
“ඔතන නැද්ද බියට්‍රිස් ළමයින්ගෙ අම්මලාගෙ නැටුම් සන්දර්ශනයක් එහෙම?”
“එහෙම එකක් ඇති කියල හිතාගෙන වෙන්නැති අද නිවාඩු දමන්න ඇත්තෙ”
ඔවුහු නැවතත් හඬනගා සිනාසුණ හ.
“අද හිනාවුණා වැඩියි අඬන්න වෙයිද දන්නේ නෑ”
ඇය සිනහ ව මැඩගෙන කීවා ය.
ඔවුන් පෙර පාසල අසල වාහනය නතර කරන විට ම ගුරුතුමිය ඒ අසලට දිව ආවා ය.
“මිසිස් බියට්‍රිස් කැන්ඩියන් ඇඳල. මං බැලුව මොකද පරක්කු කියල.”
ඇය සචිනිගේ අතින් අල්ලා ගනිමින් කීවා ය.
“කාන්ති ආවද ටීචර්”
“ඔව් අන්න ඇඳුම් අඳින කාමරේ. අපි යමු එහාට.”
බියට්‍රිස් මහත්මිය ටික දුරක් ඔවුන් සමඟ ගොස් සචිනි ඉදිරියෙන් තියන්නැයි ගුරුතුමියගේ කනට කෙඳුරුවා ය.
විශේෂ අමුත්තන් හරුණු විට පෙර පාසලේ ඉගෙන ගන්නා ළමුන්ගේ පවුල්වලින් ශාලාව පිරී තිබුණි. ඔවුහු නොඉවසිලිමත් ව වේදිකාව වෙත ඇස් දල්වා ගෙන සිටියහ. විවිධ පැහැයෙන් යුත් ක්‍රේප් පටිවලින් සහ බැලුන් පොකුරුවලින් ශාලාව හැඩ ගන්වා තිබිණ. මියුරු සංගීත රාවයක් දසත පැතිරුණේ ය.
ප්‍රසංගය ආරම්භයේදී පොල්තෙල් පහන දැල්වීම සඳහා පාලිත ද ආරාධනා ලැබුවේ ය. නැටුම් සන්දර්ශනය පැවැත්වීමට නියමිත ව තිබුණේ වැඩසටහනේ තුන්වැනි අංකයට ය.
වේදිකාව ආවරණය කර තිබු ගුරු පාට තිරය ඉදිරියට පැමිණි සිඟිති නිවේදිකාව සුරතල් වදනින් මෙසේ නිවේදනය කළා ය.
“මීළඟ අංකයට ඔබලාට දැක ගන්න පුළුවන් ලස්සන ම ලස්සන නැටුමක්”
අත්පොළසන් නාදය මධ්‍යයේ වේදිකාව විවෘත විය. නැටුම් කණ්ඩායම එක්කෙනා පස්සේ එක්කෙනා නටමින් වේදිකාවට පිවිසෙයි. ඉදිරියෙන් ම සිටියේ කාන්ති ය. බියට්‍රිස් කලබල වූවා ය. දස දෙනෙක් පමණ වේදිකාවට පැමිණියත් සචිනි තවමත් නැත. දුවට අසනීපයක්වත්දැයි ඇය සැක සිතුවා ය.
“දුව තවමත් නැහැනේ”
ඇය වෙව්ලන කටහඬින් සැමියාගේ කනට කෙඳිරුවා ය.
“කලබල නැතුව ඉන්න. කණ්ඩායමේ නොහිටියොත් අපි ගිහින් බලමු.”
ඔවුහු විමසිලිමත් ව වේදිකාව දෙසට ඇස් දල්වාගෙන සිටියහ. විසි දෙනෙකුගෙන් සමන්විත වූ කණ්ඩායමේ සචිනි වේදිකාවට පිවිසියේ අන්තිමයා හැටියට ය. එහෙත් ඇගේ මුහුණ සොම්නසින් පිරී තිබිණ. මොහොතකින් ඈ සෙසු ළමුන් අතර සැඟවුණා ය. ඉදිරිපෙළ නැටු ළමයින් අතුරෙන් වඩාත් කැපී පෙනුණේ කාන්ති ය.
“අපේ දුව පිටිපස්සට ම දාලා. කෝ පේන්නවත් නැහැනේ.”
“ඕක ඔය හැටි ගණන් ගන්න එපා. එයා සතුටින් නටනව නේ”
රූපවාහිනි සංස්ථාවෙන් පැමිණි කැමරාකරුවා ඉතා ඕනෑකමින් රූගත කිරීම් කරනු පෙනිණ. ඔහුගේ කැමරාව බොහෝ විට එල්ල වූයේ කාන්ති වෙත ය.
“අපි යමු යන්න”
බියට්‍රිස් නැවතත් කසුකුසුව පටන් ගත්තා ය.
“මොකද බියට්‍රිස් ඔයාට වෙලා තියෙන්නෙ?”
“ඔයාට ඕන නම් ඉන්න. මේ නැටිල්ල ඉවර වුණහම මම ළමයත් අරන් ගෙදර යනව. මට කා එකේ යතුර දෙන්න.”
“තමුසෙට ආත්ම ගෞරවයක් කියල එකක් නැද්ද?”
“මේ බියට්‍රිස්, මිනිස්සු අපි දිහා හැරි හැරී බලනව. ඔයා මං කිව්වට චුට්ටක් ඉවසල ඉන්න. ප්ලීස්.”
“ඔයාට මෙතන වෙච්ච අසාධාරණයක් පෙන්නෙ නැද්ද?”
“ඔයා හිතන්නෙ තමන්ට අවාසි වෙන හැම දෙයක් ම අසාධාරණයි කියල. අපි දැන් ඔය කතාව නවත්වමු.”
ඉන් පසුව ද බියට්‍රිස් තොර තෝන්චියක් නැතිව කුටු කුටු ගෑවත් පාලිත කට ඇරියේ නැත. නැටුම අවසානයේ නරඹන්නන් සමඟ එක්වී ඔහු උද්යෝගයෙන් අප්පුඩි ගැසුවේ ය. ඇය ඒ දෙස බලා සිටියේ ඇස් ගෙඩි දෙක දොට්ට දමාගෙන ය. විවේක කාලයේදී ඔවුහු එළියට බැස්සෝ ය. බියට්‍රිස් නෘත්‍ය ශාලාවේ පිටුපස දොරින් ඇතුල් වී තම දියණිය සමඟ එළියට ආවා ය.
“අපි දැන් ගෙදර යන්න හදන්නෙ” ඇය සචිනිගේ අතින් අල්ලාගෙන වාහනය දෙසට ගමන් කරමින් කීවා ය.
“අනේ අම්ම, තව ම කොන්සට් එක ඉවරත් නැහැ”
සචිනි නහයෙන් ඇඬුවා ය.
පාලිත කතාවක් බහක් නැතිව රියදුරු අසුනෙහි හිඳගත්තේ ය. බියට්‍රිස් වාහනයේ දොර හැර ඊට නගින්නේ නැතිව නෘත්‍ය ශාලාව දෙස නැවතත් හැරී බැලුවා ය.
“මට හිතෙනව අර අම්මණ්ඩිට හොඳවයින් දෙකක් කතා කරල එන්න”
පාලිත රථය පණ ගන්වා එහි ශබ්දය වැඩි කළේ ඇයට තරවටු කරන්නට ය. ඇය දියණිය ද සමඟ වාහනයට ගොඩ වුණා ය. අතරමඟදි කිසිවෙකු කතාබහ කළේ නැත. බිරිඳ සහ දියණිය නිවසේ ගේට්ටුව අසල බැස්ස වූ පාලිත නගරයට ගොස් ගී කියමින් නටන බෝනික්කෙකු මිලදී ගත්තේ ය. ඔහු එය දියණියට තෑගි කරමින් මෙසේ කීවා ය.
“දුව නැටුම් කණ්ඩායමේ පස්සට දාල තිබුණත් ඒක ගණන් ගත්තේ නැතුව සන්තෝසෙන් ලස්සනට නැටූ නිසා මං මේ තෑග්ග දුවට ගෙනාවෙ.”
“තෑන්ක් යූ තාත්ති” යි කියමින් සචිනි තෑග්ග බදා ගත්තා ය.
“දුවට කවුද කිව්වෙ පස්සට යන්න කියල?”
“අම්මි මට බනින්නේ නෑ කියන්නකෝ”
“බනින්නේ නෑ”
“ඉස්සෙල්ලා ම අපේ ටීචර් පේළිය හැදුව ම මං හිටියෙ ඉස්සරහ ම. කාන්ති ඊළඟට. ඊට පස්සෙ ලොකු ටීචර් ඇවිල්ල කාන්ති ඉන්න තැනට රසංගිකා දාල.”
“ඔයා පස්සට දැම්ම? දුෂ්ට ගෑනි”
“ඔයා කලබල කරන්නෙ නැතුව ළමයට කියන්න ඉඩ දෙන්න. දුව කියන්න ඊළඟට මොකද වුණේ? රසංගිකා ඉස්සරහට දාල...”
“රසංගිකා ඉස්සරහට දාල කාන්ති පස්සට ම දැම්ම”
“ඊට පස්සෙ”
“ඊට පස්සෙ කාන්ති ඇඬුව. ඉතින් මට දුක හිතුණ. පව්නේ තාත්ති කාන්ති මගේ යාළුවනේ. ඊට පස්සෙ මං හිටපු තැන කාන්තිට දීල මං පස්සට ගියා. ලොකු ටීචර් ඇහුව කමක් නැද්ද කියල. මං කිව්ව කමක් නෑ කියල.”
බියට්‍රිස් “මෝඩ කෙල්ල” යැයි කියමින් ගස්සාගෙන ඉවතට ගියා ය. පාලිත දෑස් පුංචිකර සිනාසුණේ ය.
https://archives.silumina.lk/punkalasa/20100516/_art.asp?fn=ar1005163