කෙටිකතාව 6

2 views
Skip to first unread message

Nissanka Rajapaksa

unread,
Apr 2, 2024, 9:31:09 PMApr 2
to INDRAKA group

1

වංචනිකයා

කැත්ලීන් ජයවර්ධන

කිසිවෙක් මා වෙත බීම බටයක් යෙදූ තැඹිලි වීදුරුවක් පාමින් සිටියේ ය. වීදුරුව අල්ලාගෙන සිටින්නාගේ අතැඟිලිවල හා පිටිඅල්ලේ රන්වන් වූ ඡවිවර්ණය ද මට පෙනිණ. කිරිසුදු අත් දිග කමිසය ඔස්සේ ඉහළට තල්ලු වී ගිය මගේ බැල්ම ඔහුගේ ගෙල හරහා නිකට කරා ඇදී යමින් තිබිණ. මා මිමිණුවේ කවදත් ඉබේට ම මැතිරෙන මන්තරය ය.

“බොහොම ස්තූතියි”

තැඹිලි වීදුරුවේ මුව විටෙන් ලෝදිය කන්දරාවක් උතුරා ගැලූ නිමේෂය වූයේ ඒ ය.

සුලක්ඛන රාජපතිරණ...?

මම තුෂ්ණීම්භූත ව බලා සිටියෙමි. රාජතිලකගේ සිනාසෙන මුහුණ - ඒ සුදු දසන් ඇසිල්ලකට මට පෙනී ගියේ විහාර ගෙයක් තුළ අඹා ඇති යමපල්ලකුගේ හෝ රාක්ෂසයකුගේ විළිස්සා ගත් දත් වහල්ලකට අනුරූපව ය.

“ආ.... ගන්න වරුසවිතාන මහත්තයා ගන්න”

මගේ දුබල සිරුර හරහා කම්පන තරංගයක් දිව ගියේ ය. සිනාසෙන්නට උත්සාහ කළ ද මුහුණේ පහළ කොටස වෙව්ළුම් කැවීමක් බඳු වූ මගේ ඒ වරදකාරී සිනාව උපන්ගෙයිම මියැදුණේ ය.

“මං දැනගෙන සිටියේ නැහැනේ වරුසවිතාන උන්නැහේ මෙහේ ඇඩ්මිට් වෙලා ඉන්න විත්තියක්. හම්බ වෙමු. වැඩේ ඉවර කරලා මං එන්නං”

මගේ පිට මෘදු ලෙස ස්පර්ශ කළ රාජතිලකගේ අත්ලෙන් ගිනිදලු පිට වූවාක් මෙනි, මට හැඟුණේ. යාබද ඇඳේ රෝගියාට ඔහු තවත් තැඹිලි වීදුරුවක් පිරිනමනු ඊළඟ නිමේෂයේදී මට පෙනිණ. මම සැනසුම් සුසුමක් හෙළුවෙමි. මා සිටියේ බොහෝ සෙයින් බියපත්ව ය. බියට හේතු වූයේ සමුගන්නා මොහොතේ කාරුණික ස්වරයෙන් ඔහු කළ අනතුරු ඇඟවීම ය.

“හම්බ වෙමු. වැඩේ ඉවර කරලා මං එන්නංකෝ”

දැන් මේ මොහොතේ මගේ ඒකායන ප්‍රාර්ථනය වී ඇත්තේ, රාජතිලක බොරුකාරයකු - පොරොන්දු ඝාතකයකු වේවා! යන්න ය. ‘මොන කෙංගෙඩියකට ද මිනිහා ආයිමත් මං හම්බුවෙන්නේ’ යි සිතමින් මම නොසන්සුන්ව අවට බලමි. රාජතිලකට අවශ්‍යව ඇත්තේ මා ලවා පාපොච්ඡාරණයක් කරවා ගැනීමට ද?

මා තවමත් සිටින්නේ තැඹිලි වීදුරුව අතැතිව ය. එය ඉවත තැබීමට මට අමතක වී තිබේ. මගේ දුබල සිරුරට තැඹිලි වීදුරුව ද මහමෙරකි. වෛද්‍ය විශේෂඥයා විසින් කපා ඉවත් කරන ලද අක්මාවේ කොටස ද සමඟින් මගේ කාය ශක්තිය මුළුමනින්ම පාහේ ක්ෂය වී තිබේ. එහෙත් මගේ මතකය නිරවුල් ය. රාජතිලක විසින් මොහොතකට පෙර පණ ගන්වන ලද්දේ මගේ ඒ මතක ගබඩාවේ මෙතෙක් නිර්වින්දනයව තිබූ එක්තරා පාර්ශවයකි.

තැඹිලි වීදුරුව සයිබෝට්ටුව මත තබන මම, ලෑල්ලක් තරමට ඝන වූ මෙට්ටයට දෙවැලමිට වාරු කරමින් ඇඳ මත වැතිර ගන්නේ ආයාසයෙනි. අධිවේගී පංකාවට සමාන්තරව මගේ සිත හා සිතුවිලි ද භ්‍රමණය වෙයි. පංකාවේ පෙති ඡායාමාත්‍ර වශයෙන් හෝ දැකබලා ගත හැකි නො වන අයුරින්ම ඒ සිතුවිලි ද තෝරා බේරා ගෙන නො හැකි ය. මා තුළ රැළි නඟමින් ඇත්තේ රාජතිලක යළි මා සොයා පැමිණේවි ද? යන බිය හා සැකය ය.

ඔහුගෙන් ගැලවීම සඳහා යෙදිය හැකි උපක්‍රමයක් සොයමින් මගේ සිත ඉබාගාතේ ඇදී යයි. මා තද නින්දක ගැලී සිටින බව ඇඟවුවහොත් මට ඔහු පළවා හළ හැකි වනු ඇත. ගැඹුරු හුස්ම පිට කරමින් දැන් මා යෙදී සිටින්නේ මගේ රංගාවතරණය හා අදාළ පෙරහුරුවක ය. රාජතිලක සුහදතාවයේ දෑත් දිගු කරන්නට සැරසෙද්දී එවැනි වංචනික ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම කෙතරම් නම් සදාචාර සම්පන්න දැයි මම සිතා බලමි. සැණෙකින් මගේ මනස්තිරය මත ඇඳී යන්නේ ‘මාධ්‍ය සදාචාරය’ සම්බන්ධයෙන් මා ලියා පළකර ඇති දහසකුත් එකක් නිර්වචන ය. තීරු ලිපි ය. කතුවැකි ය.

මාධ්‍ය ක්ෂේත්‍රය තුළ මෙන්ම පුවත්පත් කලාවේදීන් අතරේ ද කලක් මට හිමිව තිබූ අතිමහත් වූ ජනපි‍්‍රයතාව ඒ හා සමඟම මට සිහි වේ. මා පුවත්පත් කලාවට අතපොත් තැබුවේ මුද්‍රණ ශිල්පය අකුරු අමුණන යුගයේදී ය. විකල්ප පුවත්පතකට බැඳුණ මම ටික කලකින්ම එහි ප්‍රධාන සංස්කාරකවරයා වීමේ වරම ලැබුවෙමි. පොදුජන ප්‍රසාදය දිනාගැනීමේ වරප්‍රසාදය බොහෝ විට හිමිවන්නේ විකල්ප පුවත්පත් කලාවේදීන්ටම බව අදටත් මම තරව අදහමි.

ජාතික පුවත්පත් සංස්කාරවරයකු සතු නො වන මේ මහඟු වරම ඔහුට හිමිවන්නේ ජනතා පරමාධිපත්‍යය පිළිබඳ බරසාර කතිකාවකට වේදිකාවක් තනාදීම පිළිබඳ පුන්‍යකර්මයේ ආනිසංස ලෙස ය. ඒ අතින් බලන විට විකල්ප පුවත්පතක සංස්කාරකයකු සමවන්නේ විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට යැයි දැන් දැන් මට සිතේ. පොදු ජනතාවගේ පැත්තේ රැඳී සිටිමින් පොදු ජනතාවගේ කඳුළු සුසුම් මිල කිරීම සඳහා මේ දෙදෙනාටම සමාන අවස්ථා උදාවෙයි. වෙනස නම්, ජනතාවට මානසික අල්ලස් ලබා දී කතිර කොල්ලකෑමේ වරප්‍රසාදය ද පමණක් විකල්ප පුවත්පත් කලාවේදියාට අහිමිවීම ය.

මගේ පුවත්පත් කලා ජීවිතයේ උච්චතම කාල වකවානුව තුළ රාජතිලක සිටියේ රාජ්‍ය සේවයේ ඉතා ඉහළ නිලයක් හොබවමිනි. රටේ මර්මස්ථානයන්හි වැජඹෙන්නන්ගේ පෞද්ගලික තොරතුරු එකල මට බෙහෙවින් වැදගත් වූයේ මවිසින් ලියා පළ කරන ලද ආකර්ෂණීය තීරු ලිපිය නිසා ය.

රාජතිලක තුළ වන ස්ත්‍රීලෝලය හා නා නා ප්‍රකාර වූ ඔහුගේ පෙම් සබඳතා පිළිබඳව මට දැනගන්නට ලැබුණේ විවිධ ආයතනවල සේවය කළ මගේ සහචරයන්ගේ මාර්ගයෙනි. පොරක් මෙන් වැජඹෙන ස්ත්‍රී සොඬෙකුගේ කෙරුවාව හුවා දැක්වෙන තීරු ලිපියක් මා මුලින්ම ලියා පළ කළේ මේ නම නොකී පුද්ගලයා අසුවල් තැනැත්තාම බව දැනුවත් පාඨකයාට මනාව ඒත්තු ගැන්වෙන ආකාරයට ය. අනතුරුව මම රාජතිලක වෙතින් ඒ පිළිබඳ කිසියම් ප්‍රතිචාරයක් අපේක්ෂා කළෙමි. එහෙත් ඔහු එය නො දුටුවාක් මෙන් සිටියේ ය. තීරු ලිපියේ ඡායාස්ථිත පිටපතක් ඔහු වෙත තැපෑලෙන් යැවීමෙන් අනතුරුව ද ඔහුගේ මුනිවත නො බිඳිණ. තීරු ලිපිය පිළිබඳ අල්පමාත්‍ර වූ හෝ තැකීමක් රාජතිලක තුළ නො වීම හේතුවෙන් මගේ සිතෙහි හටගත් හැඟීම නිර්වචනය කළ හැක්කේ ‘මදිපුංචිකම’ ලෙසින් විය යුතු ය. අනතුරුව මා තුළ ඔහු වෙනුවෙන් හටගත් නො පහන් හැඟීම දියුණු තියුණු වූයේ, මාධ්‍ය සදාචාර සීමාවන් ද අතික්‍රමණය කරමිනි.

ඔහුගේ නම හා තනතුර ද සහිතව මා ලියූ ඇතැම් කතුවැකි පවා නො දුටු නො ඇසූ අයුරින් ඔහු අමුතුම තාලේ රංගනයක යෙදී සිටියේ ය.

දිනක් අනුරාධපුර නගරයේ මුළු දුන් දේශපාලන රැස්වීමකට සහභාගි වීමෙන් අනතුරුව ආපසු එමින් සිටි අපේ පත්තර සගයින්ට මෙන්ම මට ද ගමන් විඩාව දැඩිව දැනෙන්නට වූවේ ය. ගමන් වෙහෙසට අමතරව මධුවිතක අවශ්‍යතාව ද පිපාසයක් මෙන් හැඟුණෙන් අපි කුරුණෑගල තානායම කරා රිය පැදවූවෙමු. අඩඅඳුර මැද අප මධුවිත් තොලගාන්නට වූයේ තානායම් අංගණයේම රැඳී සිටිමිනි.

“බොස්, අර ඉන්නේ බොස් ගෙ බයිට් එක”

කටගැස්ම සඳහා පිළියෙල කරගත් බැදපු ඉස්සෙකු හඬ නැඟෙන සේ හපමින් සිටි මට ශාලාව තුළ සිටි කිසිවකු පෙන්වමින් විජේසිරි කීවේ ය.

“කවුද?”

“රාජතිලක ලොක්ක නේ අර කොනේම මේසේ ඉන්නේ”

බැලූ බැල්මටම මට පෙනී ගියේ ඡායාරූපයෙන් දුටු රාජතිලකත්, මේ රාජතිලකත් අතර වන වෙනස ය. අසමානතාව ය. ජීවිතයේ දශක පහක් ගෙවා දැමූවකු තුළ එතරම් තාරුණ්‍යයක්, සෝභමාන බවක් ශේෂ වූයේ කවර නම් අරුමයකින් දැයි මම සිතුවෙමි. මට එසේ සිතුණේ ජීවිතයේ හතරවැනි දශකය මැද භාගයේ පසුවන මා, වයසට වඩා වියපත් වී සිටි නිසා විය හැකි ද? සහජයෙන්ම මට උරුම වූ වපරයත්, මුහුණේ පදාසයක් වසා ගත් තුවාළ කැළලක් වැනි වූ උපන් ලපයත් හේතුවෙන් එය එසේ සිදුවුණේ ද?

“ඔය ඒ යකා ද?” යි මට ඇසුණේ සිතට දැනුණ නොරිස්සුම නිසාම ය.

“ඔව් බොස්. රියල් ඇක්ට කෙනෙක් වගේ නේ? දැං ඉතිං අතටම අහුවුණ එකේ් ඊළඟ පත්තරේට ලුනුඇඹුල් ඇතුවම ලියවේවි නේ ද තීරු ලිපියක්?”

මම මොහොතක් නිරුත්තරව සිටියෙමි. මගේ බැල්ම යොමුව පැවතුණේ රාජතිලක සමඟ සිටි සුරූපිනිය කෙරෙහි ය.

ඇගේ වයස අවුරුදු විස්සක් හෝ විසි දෙකක් විය හැකි යයි මම උපකල්පනය කළෙමි. ඇගේ උඩුකය වසා ගත් ශෝලයේ වූ කුඩා රිදී තාරකා විදුලි පහන් එළියේ දිදුලමින් තිබුණේ අහසේ තරු ද පරදවන දීප්තියකිනි.

එදා ඒ මොහොතේ මගේ සිතෙහි බුර බුරා අවදිව නැඟුණ උද්වේගකර හැඟීම කෝපය ද? වේදනාව ද? යි දැන් මට මතක් කරගත නොහැකි ය. නිසැකයෙන්ම මා එය දැන හඳුනා ගන්නට ඇත්තේ ‘සාධාරණ කෝපය’ වශයෙනි. සිවිල් බලය උපයෝගී කරගනිමින් ගල් කණු ලෙස පෙනී සිටිමින් තරුණියන් විපතේ් හෙළන මෙවැනි අධමයන්ගේ වෙස් මුහුණු ගැලවීම මගේ මාධ්‍ය වගකීමේ අනිවාර්ය අංගයක් ලෙසිනි, මට පෙනුණේ. රාජතිලක වැනි ස්ත්‍රි සොඬුන් අතින් සිදුවන අපරාධ, අසාධාරණකම් විනිශ්චය කිරීමේත්, ඔවුන් විෂයයෙහි අධි චෝදනා පත්‍ර ගොනු කිරීමේත් පූර්ණ බලය මා සතු වන බවක් මට හැඟුණේ ය.

එහෙත්...?

මා අපරාධයක්, අසාධාරණයක් ලෙස සිතුවේ කුමක් ද? අපරාධයකට ගොදුරු වූ කිසිවකු ඇත්තේ ද? අපරාධයට ඉලක්ක වූයේ රාජතිලකට වසඟ වූ තරුණියන් ද? ‘තරුණියන් විපතට හෙළීම’ යන්නෙන් ගම්‍ය වන පොදු අරුතට අදාළ වූ කිසිවක් ඔවුනට සිදුවී තිබේ ද?

රාජතිලක වැන්නන්ගේ - ස්ත්‍රී සොඬුන්ගේ කාමභෝගී දිවිපැවැත්මට අභියෝග කිරීමේ සියලු සුදුසුකම් මා සතුව ඇතැයි එදා මට සිතුණේ මගේ චරිත ශුද්ධිය පිළිබඳ අධිමානයකින් - මා පෙළුණ නිසා ද? මගේ වෘත්තීය ජීවිතයට ස්ත්‍රීන් සම්බන්ධයෙන් කිසිදු කලංකයක් සිදු නො වූයේ සුරූපී ළඳුන් කෙරෙහි ලෝලයක් - ආකර්ෂණයක් මා වෙත නො වූ හෙයින්ද? නැතහොත් එය ඉල්ලුම පිළිබඳ ගැටලුවක් ද? රාජතිලකගේ වැනි ආරෝහපරිණාහ දේහ සම්පත්තියක් - කඩවසම් පෙනුමක් මා සතුව පැවතුණේ්නම් දිගින් දිගටම ශුද්ධවන්තයකු ලෙස පෙනී සිටීමේ හැකියාවක් මා සතු විය හැකි ද? අද තව වනතුරුත් නො නැසී පවත්නා රාජතිලකගේ තාරුණ්‍යයේ රහස සැඟව ඇත්තේ කොතැන ද?

“වරුසවිතාන මහත්තයෝ...අපි ගිලන්පස පූජ කරන්න යනව අපි, ඔහෙත් එනවැයි?” මගේ සමාධිය බිඳ හෙළන්නේ සීනි පැකැට්ටුවක් අතැතිව සිටින රෝගියෙකි.

“ආ... කොහාට ද?”

“හෙට බණට වඩින ස්වාමින්වහන්සේට”

“යන්න. මට ටිකක් ඇඟට හරි මදි”

“එහෙනං මේකට අත ගහමු”

මා සීනි පැකැට්ටුව අල්ලන්නේ භක්තියකින්ම දැයි නිශ්චිත නැත. ජීවිතය අග්ගිස්සේ අබල දුබලව සිටින්නෙකුට භක්තිය කෙතරම් ජවයක් සපයන්නේ දැයි මට සිතෙන්නේ වාට්ටුවේ සෙසු රෝගීන්ගේ ඇවතුම් පැවතුම් දෙස බලන විට ය.

නිතිපතා රෝහල් වාට්ටුව තුළ සිදු කෙරෙන නා නා විධ වූ පුණ්‍යකර්මයනට අදාළව පැවැත්වෙන ධර්ම දේශනා අසා සිටීමට ඇතැම් විට මගේ සිත පසුබාන්නේ කුමක් නිසා ද? ඊට හේතු කාරණා වී ඇත්තේ මා තුළ කැකෑරෙන මරණ බිය ද?

මහත් වූ විමතියක්, කුකුසක් මගේ සිතෙහි මතු වේ. ධර්ම දේශනයක් සඳහා වාට්ටුවට වැඩම කෙරෙන භික්ෂුන් වහන්සේ නමකගේ දසුන බොහෝ විට මා තුළ විචිකිච්චාවක් උපදවන්නේ කුමක් නිසාදැයි මම සිතමි. ධර්ම ශ්‍රවණයට බියවන්නේ සාවද්‍ය වූ කායකර්ම, මනෝ කර්මවල යෙදෙන්නන් විය හැකි ද? නැතහොත් වාට්ටුව තුළ නිතිපතා සිදු කෙරෙන මේ ධර්ම දේශනා මරණ බිය සමනය කරගැනීම සඳහා රෝගීන්ට ලබා දෙන පෙරහුරුවක් ලෙස මට හැඟී යන්නේ ද?

දීර්ඝ සුසුමකින් ළය සැහැල්ලු කරගන්නා මම යළිත් වරක් අතීතාවලෝකනයක යෙදෙමි. මා කිසියම් ශීලයක්, ව්‍රතයක් රැක නැත්තේ දැයි මට සිතේ. එහෙත්...? එවැනි ශීලයකට චෛතසික වශයෙනුත් මා සම්මාදම් වී ඇත්තේ ද?

අද උදෑසන වැඩම කළ භික්ෂුන් වහන්සේගේ ධර්ම දේශනාව මා වුවමනාවෙන් අසා සිටියාම නො වේ. එහෙත් කනින් කොනින් ඇසූ ඒ දහම් කරුණු මා තුළ මතු කළේ මේ සියල්ලෙන්ම පරිබාහිර වූ ප්‍රතිවිරෝධයකි. දේශනයේ මුඛ්‍ය කරුණ වූ ‘චඤ්චක ධර්ම’ යන්න මගේ මතකයට කිදාබැස ඇති බවක් මට හැඟෙන්නේ එහෙයිනි.

තමන්ගේ සැබෑ ස්වභාවය සඟවා කුශල ධර්මයක වේශයෙන් පහළ වන්නා වූ ක්ලේශයෝ වඤ්චක ධර්ම වෙති යි උන්වහන්සේ වදාළ බව මට මතක ය. තැඹිලි දානය ඇරැඹුණේ මේ ධර්ම දේශනාවෙන් අනතුරුව ය.

වැහි අඳුරක් වාට්ටුව පුරා පැතිර යමින් පවතී. දානමාන කටයුතු සඳහා පැමිණියවුන් පිටව ගොස් ඇති බව පෙනේ.

රෝගීහු ඇඳන් මත දපා සිටිති. ඔරලෝසුවේ තප්පර කටුවේ හඬ පවා ඝෝෂාවක් මෙන් හැඟෙන බියකරු නිශ්චලතාවක් ඉහවහා යමින් පවතී.

මගේ සිතට මහත් වූ සුව සහනයක් දැනෙන්නේ රාජතිලක නික්ම ගොස් ඇති බව පෙනෙන විට ය. “වැඩේ ඉවර කරලා ආයෙත් එන්නම්” යි ඔහු කියන්නට ඇත්තේ මූනිච්ඡාවට ය. වාට්ටුවට තැඹිලි දානයක් දෙන්නට පැමිණි ඔහු මට තැඹිලි වතුර වීදුරුවක් පිළිගන්වන්නට ඇත්තේ ද මා මඟ හැර යා හැකි නො වන හෙයිනි. රාජතිලක වංචනිකයෙකි යි මට සිතේ. ඔහු උදාර මිනිසකු වශයෙන් මගේ මතකයේ තැන්පත් වන්නට තිබුණේ මා සොයා යළි පැමිණියේ නම් පමණි. මගේ සිතට අප්‍රමාණ වූ සුව සහනයක් නැඟෙයි. අප අතර පවතින්නේ කවර නම් වෙනසක් දැයි මම සිතා බලමි.

අපි සියලෝම එක මල්ලේ ලුණු කෑවුන් නො වන්නෙමු ද?

https://archives.silumina.lk/punkalasa/20100530/_art.asp?fn=ar1005303

Nissanka Rajapaksa

unread,
Apr 3, 2024, 7:22:41 PMApr 3
to INDRAKA group
2
සපත්තු 

- සුමුදු චතුරාණි ජයවර්ධන

"සර්, අද යන්නෙ නැද්ද? දැන් හයත් පහුවෙලා. ඒ මදිවට හොඳට ම වහිනවා සර්. සර්ට කුඩයක් එහෙම තියෙනවද?”

මම තිගැස්සුණෙමි. ලිපි ගොනුවෙන් හිස ඔසවා බැලු විට එතැන සිටගෙන සිටියේ අප කාර්යාල කාර්ය සහායක නිමල් ය.

“ඇයි නිමල්, වෙලාව කීයද?”

“දැන් හයත් පහුවෙලා සර්. හොඳට ම වහිනවත් එක්ක. දැන් ම නොගියොත් කෝච්චිය අල්ලගන්න බැරිවේවි.”

අප කාර්යාලයේ සිට ස්ටේසමට ඇත්තේ විනාඩි 05 ක පමණ දුරකි.

“නිමල් හොඳ වෙලාවට ඇහුවේ. මේ වැඩ අස්සෙ මට වෙලාව යනවා තේරුණෙත් නැහැනේ. ඒ මදිවට එළියක් පහළියක් පේන එකක්යැ. නැත්නම් කළුවර වැටෙද්දි පේනවනේ.”

“සර්ට කුඩයක් තියෙනවද සර්.” නිමල් යළිත් අසයි.

“ඇයි නිමල්?”

“නෑ හොඳටම වහිනවා සර්. සර් කුඩයක් ගෙනාවෙ නැත්නම් මාත් එක්ක ස්ටේසමට යමු. මම සර් ව මගේ කුඩෙන් එක්ක යන්නම්.”

“නෑ, කමක් නෑ. නිමල් යන්න. මම ඉක්මනින් එන්නම්.”

“එහෙනම් සර්, මම ගියාට කමක් නැද්ද? නැත්නම් 6.25 අල්ලගන්න බැරි වෙනවා.”

නිමල් කඩිමුඩියේ ම කාර්යාලයෙන් පිටවී ගියේ ය. වැස්සක සේයාවකුදු නොතිබු පසුගිය දවස් ගැන මම කල්පනා කළෙමි. ඒ දිනවල මට කුඩයක් උවමනා වූයේ නැත. කුඩයක අවශ්‍යතාවය අබිබවා මතක් වෙන වෙනත් අවශ්‍යතාවයක් මට ඇත. මා නිමල් සමඟ ස්ටේසමට නොගියේ ද එබැවිනි.

අද උදෑසන මා කාර්යාලයට ඒම සඳහා පිටත් වීමට සූදානම් වෙද්දී බිරිය ඒ ගැන මට මතක් කළා ය. ඊළඟ පඩියෙන්වත් සපත්තු දෙකක් ගන්න. දැන් ඒක දාගෙන යන්න බැරි තරමට අබලන් වෙලා. ඒ මදිවට හමත් ගිහිල්ලා, හිල් වෙලත් එක්ක.

සපත්තු ගන්නෙ කොහොමද? ඊළඟ මාසෙ පුතාගෙ ඉස්කෝල පොත් අරන් දෙන්න එපායැ.

“මොකද්ද අනේ ඔයා, ඔය කරන රස්සාවෙ තේරුම? හරියට කන්න අඳින්න නැහැ. ඇඳුමක් ගත්ත දවසක් මතක නැහැ. කාලා නෙවෙයි, ලෙවකාලා ජීවත් වෙන්නෙ. මට මේ ජීවිතේ තිත්ත වෙලා. දරුවො හිටියෙ නැත්නම් මම මෙලහටත් වෙන අතක් බලාගෙන. මම හිතුවෙ නැහැ කවදාවත් මට මෙහෙම දුක් විඳින්න වේවි කියලා. මේ මිනිහත් එක්ක ඇවිත් මට මගේ මුළු ජීවිතේ ම නැති වුණා. හරි හමන් මිනිහෙක් එක්ක ගියා නම් මම අද කොච්චර හොඳට ජීවත් වෙනවද?”

හැමදාම උදෑසන පටන් ගන්නා ඇගේ අඬෝවැඩියාවට දැන් කලක් ගතවී ඇත. ඇය මගේ දරු දෙදෙනාගේ මව නිසා මම තවදුරටත් ඉවසන්නෙමි. නැත්නම් මේ වන විට ඇගේ කටේ දත් අඩුවන්නට තිබිණි.

ගෙයින් එළියට බසින හැම මොහොතක ම මට දැනෙන්නේ නිදහස් කුරුල්ලකු වැනි හැඟීමකි. අවට සුන්දර ස්ථාන, සුන්දර හැඩකාර කෙල්ලන් පමණක් නොව මිනිසුන්ගේ අනේකවිධ චර්යාවන්ද මගේ ලෝකයේ හිස් බව පහ කෙරුවේ ය. දකින දේ ලස්සන වන්නේ හදවත හොඳ මිනිසුන්ගේ නෙත් අද්දර පමණක් බව, මම අසා ඇත්තෙමි. බිරියගේ කන්දොස්කිරියාව හා අඟහිඟකම් අමතක කර ගත වන හැම නිමේෂයක ම සිදුවන විවිධ දේ, විවිධ කෝණයන්ගෙන් රස විඳීමට තරම් මම මගේ හදවත තුළ ජීවත්වන්නෙක් වීමි. දරු දෙදෙනකුගේ පියකු වුවත්, අවුරුදු 40 ක් පමණ ගෙවි ඇතත් සුන්දර, හැඩකාර කෙල්ලන් දෙස බලා සතුටු වන්නට, ඔවුන්ගේ දඟකාර ඉඟිබිඟි විඳින්නට මට තවමත් හැකි ය. ඒ රාග සිතින් නම් නොවන බව මම දනිමි. මොහොතක් කල්පනාකර බලන්න. ඔබේ හදවත සුන්දර හා නිදහස් නම් ඔබට ද එය කළ හැකි ය.

හිල් හැදුණු සපත්තුව මේ මාසයේ නම් ඉවතලන බව මම මට ම සපථ කර ගත්තෙමි. නැතිනම් වැහි දිනට පසුදින මට කාර්යාලයට ඒමට නොහැකි වනු ඇත. එසේ වුවහොත් මට මගේ සුන්දර හීන ලෝකයේ රස විඳින්නට නොහැකි වනු ඇත. ක්‍රමයෙන් ගෙවී යන මාසය විසිපස්වැනිදාට ළඟා විණි. ඒ අපේ පඩි දිනයයි. අනෙක් අවශ්‍යතා කෙසේ වෙතත් සපත්තු දෙකක් නම් අනිවාර්යයෙන්ම මිලදී ගන්නා බව මම තීරණය කළෙමි.

මධ්‍යහ්නය ගෙවී ගොස් සැඩ හිරු රැස් මිලින වෙද්දී පැයක කෙටි නිවාඩුවක් ගත් මම සපත්තු දෙකක් මිලදී ගැනීමේ අටියෙන් මල්වත්ත පාරට ආවෙමි. දිගට ම ඇත්තේ සපත්තු කඩ ය. වෛවාරණ සපත්තු වීදුරු කබඩ් අස්සෙන් මා දෙස නෙත් හෙළයි. ඔරලෝසු කණුව දෙසට මම ඇවිදගෙන ආවෙමි. ඉතා ජනාකීර්ණ මේ පෙදෙස මේ වෙලාවේ නම් එතරම් කලබල ගතියක් පෙන්නුම් කළේ නැත. මම ඒ ළඟ ම තිබු සපත්තු කඩයකට ගොඩවීමි.

“ආ මහත්තයා එන්න. මොනවද බැලුවේ...”

කලෙකින් දුටු තම සහෝදරයා අමතන පරිද්දෙන් වෙළෙඳ සේවකයා මා ඇමැතීය.

“මම මේ සපත්තු දෙකක් ගන්න කියලා.” මම පැවැසීමි.

“මොකද්ද මහත්තයා සයිස් එක.” මම මගේ අඩියේ ප්‍රමාණය ඔහුට කීවෙමි.

“මෙතනින් මහත්තයා කැමැති මෝස්තරයක් තෝරාගන්නකො. මම ඊට පස්සෙ ඒ සයිස් එකෙන් ගෙනත් දෙන්නම්. ඕන ම සයිස් එකක් ගබඩාවෙ තියෙනවා.”

මම සපත්තු තෝරන්නට වීමි. ඒ සපත්තු සියල්ල ම ලස්සන ය. එහෙත් ගණන නම් මට ලස්සන නැත. නමුත් මා සපත්තු දෙකක් මිලදී ගත යුතු ම විය. පැය භාගයක් පමණ එකින් එක අතට ගෙන පිරික්සා බැලු මම, අවසන මගේ මාසික වේතනයටත් තරමක් දුරට ගැළැපෙන එක් සපත්තු ජෝඩුවක් තෝරා ගතිමි.

“මහත්තයා ඔහොම වාඩිවෙලා ඉන්න. මම මේ මෝස්තරෙන් මහත්තයාගේ සයිස් එක අරගෙන එන්නම්.” වෙළෙඳ සේවකයා එය ද රැගෙන ගබඩාවට රිංගුවේ ය. මම ආසනයේ ඉඳගෙන ම වටපිට බැලුවෙමි. සපත්තු දෙකක් මිලදී ගැනීමේ පී‍්‍රතිය ද මගේ සිතේ බරට තිබිණි. සපත්තු සාප්පුවේ රාක්කයන් අතර තව කිහිප දෙනෙක් සපත්තු තෝරමින් සිටියහ.

සපත්තු රාක්ක සියල්ල ම පාහේ වෛවාරණ සපත්තුවලින් සැරසී තිබිණි. කළු, සුදු, රෝස, නිල් ආදි නෙක වර්ණයන්ගෙන් සුසැදි කාන්තා අඩි උස පාවහන් කෙතරම් සුකොමළද? සපත්තු රාක්ක අතර සරන ළඳුන් අතරෙන් එක් සුන්දර කුඩා තරුණියක අබියස මගේ නෙත් නතර විය. මා ඔබට මින් පෙරද සඳහන් කළ පරිද්දෙන් සුන්දර වස්තූන් රස විඳීමට මෙන් ම ඒ වස්තූන් නිසා මගේ කුදු මහත් කරදර අමතක කර දමන්නට ද මට හැකි ය.

වඩා උස් නොවූ ඇය කුඩා එහෙත් හැඩකාර සිරුරකට හිමිකම් කීවා ය. උසින් අඩු නිසාදෝ ඇය පැලැදි අඩි උස සපත්තු, ඇගේ සිරුරට මනා ආකර්ෂණයක් එක් කළේ ය. ඇගේ සුමුදු සුකොමළ දෙපා ඕනෑ ම සපත්තු යුවලක් අලංකාර කරනු නියත ය. ඇගේ නොඋස් බව ඉස්මතු නොවන පරිද්දෙන් ඇඳි ඇඟට ම ඇලෙන කෙටි කළු ගවොම, එල්ලෙන කරාබු, යාන්තමට පෙනෙන සේ තැවැරූ තොල් සායම්, දිගට වවා සායම් ගෑ නියපොතු මේ ඈ සියල්ල ම ඇගේ කෝමළ බවට තව තවත් ආකර්ෂණයක් එක් කළේ ය.

මට මගේ බිරිය සිහි විණි. ඇය ද ශරීරයෙන් නොඋස් නමුදු පි‍්‍රයමනාප පෙනුමකට හිමිකම් කියන්නියකි. එහෙත් ඇය කිසිදු දිනෙක තම නොඋස් බව සඟවා එය තම සිරුරට ආකර්ෂණයක් බවට පත්කර ගන්නට වෙහෙසක් නොගත්තා ය. ඇයට මේ සුන්දර තරුණිය මෙන් හැඩ වන්නට මගේ මාසික වේතනය ඉඩකඩ නොසැලසූ අතර ම, කළ හැකි දෙයක් හෝ කිරීමට ඇය ද උනන්දුවක් නොගත්තාය. එහෙත් කාන්තාවන්ගේ සුන්දරත්වය නිරන්තර මගේ සිත පුබුදු කළ නිසාවෙන්දෝ මේ කුඩා තරුණිය මට රසඳුනක් ම විය.

ඉතා උසින් වැඩි වූ අඩි සහිත සපත්තු පැලැඳ සිටිය ද ඇය කඩ කාමරයේ එහා මෙහා ලාලිත්‍යයෙන් යුතු ව ගමන් කළේ පාවහන් රහිත ව යන්නාක් මෙන් සැහැල්ලුවෙනි. ඒ ගමන් ලතාව ඇයට උසින් වැඩි පාවහන් පැලැඳ සිටීමේ මනා පුරුද්දක් තිබූ බව සපථ කළේ ය.

උසින් වැඩි සපත්තු බොහොමයක් පාහේ රැඳී තිබුණේ උඩ රාක්කයන්හි ය. ඇය වටපිට බලමින් නියමතින් උස් වෙමින් කෝමළ අයුරින් සපත්තු තෝරන අයුරු අපූරු ය. සන්දේශ කවීන් හා පැරැණි ගද්‍ය සාහිත්‍ය කරුවන් මතු නොව වත්මනෙහි ලියැවෙන බොහෝ ගීත ද, සාහිත්‍ය නිර්මාණයන් ද නිරන්තරයෙන් තම වස්තු බීජය බවට කාන්තාව පත්කර ගන්නේ ඇයගේ මේ විස්මිත රුව හා ගති සොබාව හේතුවෙන් විය යුතු ය. සොබාදහම් මාතාවගේ අපූරුතම නිර්මාණය ගැහැනිය බව මම ද අවිවාදයෙන් පිළිගන්නෙමි.

සපත්තු තෝරමින් සිටි ඇය, මා ඇය දෙස නෙත් නොහෙළා බලා සිටින බව අවබෝධ කරගෙනදෝ මා දෙස කිහිප වරක් හැරි හැරි බැලුවා ය. ඒ බලන හැම වාරයක් පාසා ම මගේ සිත මා අමුතු ම ලොවකට කැන්දාගෙන ගියේ ය. මා දෙස බලමින් ඇය හෙළූ සුන්දර මඳ සිනාව හා නෙත් කැල්ම මගේ සිත කීරි ගැස්සුවේ ය.

මම ද මට හැකි උපරීම අයුරින් සුන්දර ව ඇය හා සිනාසීමි. සිනාසෙන විට මගේ ඇස් පියවෙන බවත්, එය තවකකුට පි‍්‍රය උපදවන බව හා මගේ මුහුණ කාරුණික භාවයේ කැඩපතක් බවත් මීට පෙර අවස්ථාවක කාර්යාලයේ තරුණියන් පැවැසූ බව මට මතක් විණි. කුමන හේතුවක් නිසාදෝ මට එය ද ඒ අවස්ථාවේ සිහිපත් විය.

මගේ සිනාවෙන් දිරිමත් වූ ඇය මා සමඟ යළිදු සිනාසුණා ය. මගේ නෙත් හා සිත මට ම අදහාගත නොහැකි කරමින් ඇය සපත්තු රාක්කයෙන් මෑත් වී මා වෙත සෙමින් සෙමෙන් පැමිණෙන්නට වූවා ය.

මම මගේ සතුට හා නොසන්සුන්කම පාලනය කර ගත නොහුණු වේදෝයි බියෙන්, උපරීම ප්‍රසන්න ලෙස ඇය හා සිනාසීමි. ඇගේ හැඩැති දිගු සුදු මුහුණේ ප්‍රසන්න මඳ සිනාවක් විය. ඇය මා ඉදිරිපිට සිට ගත්තා ය. මගේ සිත ගැහෙන්නට විය. අපූර්ව චමත්කාර ලෝකයක ඇය හා මම අතිනත් ගෙන ඇවිද යනු මම මනසෙන් දුටුවෙමි. ජීවිතය කෙතරම් සුන්දර දැයි මට නිමේෂයකට සිතිණි. මම ඇගේ සුදු මුහුණ දෙස හිස ඔසවා බැලීමි.

“අන්කල්, මට අර උඩ රාක්කෙ තියෙන රෝස පාට සපත්තු කූට්ටම අරන් දෙන්න පුළුවන්ද?”

ඇයගේ මෘදු කිංකිණි හඬ මම මගේ සුන්දර සිහින ලෝකයෙන් යථාර්ථයට ගෙන ආවා නොව ඇද දැම්මා ය. මම යාන්ත්‍රික ව නැඟී සිටියෙමි. මම ඒ සුන්දර සියුමැලි රෝස පැහැති අඩි උස සපත්තු ජෝඩුව රාක්කයෙන් ගෙන ඇය වෙත පෑවෙමි. ඇය “තෑන්ක්ස් අන්කල්” යැයි සිහින් හඬින්, මන්දස්මිත වුවනින් යුතු ව පැවැසුවා ය.

“මහත්තයා, මෙන්න සපත්තු දෙක. මේක එක්දාස් හයසියයක් වෙනවා.” වෙළෙඳ සේවකයාගේ හඬ මා පියවි ලෝකයට ගෙන ආවේ ය.

Nissanka Rajapaksa

unread,
Apr 4, 2024, 7:56:19 PMApr 4
to INDRAKA group
3
මාලය


ඉන්දීය ලේඛක ප්‍රේම් චාන්ද්


පරිවර්තනය කරුණාතිලක හඳුන්පතිරණ

පණ්ඩිත බාලක් රාම් ශාස්ත්‍රීගේ බිරිය දිගු කලක සිට ම රන් මාලයකට දැඩි ලෙස ආශාවෙන් පසුවුණාය. බොහෝ අවස්ථාවල ඇය එවන් මාලයක් ලබා දෙන්නැයි පණ්ඩිත් බාලක් රාම් ගෙන් ඉල්ලා තිබුණි. ඒ හැම අවස්ථාවකම නිදහසට හේතු දක්වමින් හෝ වෙනත් අයුරකින් පණ්ඩිත බාලක් එය මඟහැරියේය. ඔහු මාලයක් සාදවා දෙන්නට තමාට මුදල් නැතැයි කිසිදා නොකියා සාදා දීමෙන් වැළකී සිටියේ ය. ආභරණ එක්රැස් කරගෙන තබාගැනීම රෝගයක් විය. රන්කරුවෝ රවටති. ගැනුම්කරුවකුට ලැබෙන්නේ නියම වටිනා කමෙන් අඩක් පමණි. රන් ආභරණ නිවසක තබා ගන්නවා යනු සොරුන්ට කරන ආරාධනාවකි. අත වැනීමකි.

කියවීමට අකුරු ශාස්ත්‍රය නො දත් මායාට පේන විදිහට මේ පිළිබඳ පිළිතුරක් තිබුණේ නැත. අසල්වැසි නිවෙස්වල සිටි කාන්තාවන් පැලඳ සිටි ආභරණ කන්දරාව දුටු මායාට තම අවශ්‍යතාවෙන් ආරක්ෂාවීමට පුළුවන් වූයේ නැත. ඇගේ දැන උගත් මහතා තම බිරියට උපකාර කිරීමට හැකිවේදැයි තරමක් මහන්සිගෙන තිබුණි. එහෙත් ඊට වඩා ඔහු වෙහෙසුණේ අත්‍යවශ්‍ය වෙනත් දේ සඳහාය. ඔහු තම ජීවිතය සැහැල්ලුවෙන් ගෙවන්නටත් තම විවේක කාලයෙන් වැඩි කොටසක් කමින් හෝ නිදමින් ගෙවන්නටත් විය. ඔහු තම බිරිඳගේ ඇනුම්පද හා අපහාසවලට වඩාත් කැමැති වූයේ තමාගේ නින්ද අවශ්‍ය ප්‍රමාණයට අඩුකර ගැනීමට ඒ මඟින් හැකිවූ නිසාය.

* * * *

දිනක් පණ්ඩිත බාලක් රාම් පාසලේ සිට නිවසට එනවිට දුටුවේ මාලයකින් අලංකාර ලෙස සැරසුණ මායා ය. මාලයේ දිස්නය, මායාගේ මුහුණේ වූ දීප්තිමත් බැබැළීම ඉදිරියේ අඳුරු විය. මවිතයට පත් ඔහු ඇගෙන් විමසුවේ එය ඇයට ලැබුණේ කොහෙන්ද යන්නය. “මේක අල්ලපු ගෙදර මිනිහගෙ නෝනගෙ..” ඇය කීවාය. “මං ඒකට හරිම ආසයි. ඒ හින්ද මං ඒක ඔයාට පෙන්වන්ඩ කියල අරන් ආව... අනේ මටත් ඉතින් මේ වගේ එකක් අරන් දෙන්ඩකෝ..” උගතා උත්සාහ කළේ අනෙක් අයගේ දේවල් ණයට ඉල්ලාගෙන එන එක කෙතරම් වැරදිද යන්න පැහැදිලි කිරීමටය.

යම් ලෙසකින් එවැන්නක් ගත්පසු නැති වුණොත් එය ආපසු අයිතිකරුට දීමට නොහැකිවීම හේතුවෙන් විඳින්නට සිදුවන නින්දා අපහාස ගැන ඔහු විස්තර කළේය. එහෙත් මායාට තිබුණේ එක මතයක් අරා සිටින මනසකි. “මට ඕනෑ මේ වගේ මාලයක්..” ඇය තදින් කියා සිටියාය. “මේක යම්තම් පවුම් දෙකක් විතරනෙ බර...” පණ්ඩිත බාලක් රාම් යළි යළිත් තර්ක කළේ අන් අය අනුකරණය කිරීමට යාම මෝඩකමක් බවටය.

මාලය ඕන්නම් අන්තිම රුපියල් හයසීයක් වටී. සීයට එකේ පොළියට වුණත් අවුරුදු පහකදි මුළු මුදල රුපියල් පන්දාහක්වත් වෙයි. ඒ අතර මාලයේ අගය අඩුවී රුපියල් තුන්සීයක් දක්වාවත් පහළ බහී. එවැනි පාඩුවක් විඳීම ඒකාන්තයෙන්ම මහ මෝඩ ක්‍රියාවක් නො වේ ද? ඔහු ඇයට අවවාද කළේ මාලය ආපසු දෙන ලෙසය. එසේ කියමින් ඔහු පිටව ගියේය.

* * * *

රාත්‍රියේ වූ දැඩි නිහඬතාවට නොහික්මුණු ලෙස බාධා කරමින් “හොරෙක්, හොරෙක්.. උදව් කරන්න.. කව්රුවත් නැද්ද..” යි මායාගේ හදිසි කෑගැසීම් ඇසුණි. පණ්ඩිත බාලක් රාම් නැගිට ඇයට එකතුවී ඔහු ද කෑගැසුවේ උදව් ඉල්ලාය. අසල්වැසියෝ වහා එක්රැස්වූහ. “කොයිපැත්තටද ඌ ගියේ”, අයෙක් ඇසූහ. “ලන්තෑරුමක් ගේන්න”, තව අයෙක් කීහ. අයකු කෑගැසුවේ වහළයට යන්න කියාය. අනේ! “මගේ බලාපොරොත්තු ඔක්කොම ඉවරයි! මේ යක්ෂයා මගේ මාලෙ අරන් ගිහින්” යැයි මායා මහ හඩින් කෑගැසුවාය. ඇය තම කතාව දිගටම විස්තර කරගෙන ගියාය. ඇය වෙත නැමී සිටි මිනිසකු තමා හදිසියේ අවදිවන විට දුටු බවත්, ඒ වහාම බියට පත්ව කෑගැසුන බවත් ඇය ප්‍රකාශ කළාය.

හොරෙක් හොරෙක් යැයි කෑ ගැසූ විට ඇගේ මාලයත් රැගෙන හොරා පැනගිය බව ඇය පැවසුවාය. පණ්ඩිත බාලක් රාම් ඒ පුවත ඇසීමෙන් දැඩි ලෙස මලානික වූයේය. “මං ඔයාට කිව්වෙ නැද්ද? ඔහු තදින් දොස් පැවරුවේ, මායා ගෙදර ස්වර්ණාභරණ තියාගන්න එක හරි ම භයානකයි, ඇයි ඔයා යහපත් අවවාද ගැන තැකීමක් නැත්තෙ?, දැන් බලන්න මොකක්ද වෙලා තියෙන්නෙ කියල... ඌ තවත් මොනව හරි අරන් ගිහින්ද?.. “ අසල්වැසියන්ගේ සහයෝගයෙන් මුළු නිවසම පරීක්ෂා කරනු ලැබිණ. සොරා සොයාගන්නට නො වී ය. වෙනත් කිසිවක් බාධා වූ බවක් පෙනෙන්නට වූයේ නැත.

සෑම දෙනකුම පුදුම වූයේ සොරා ගෙට ඇතුළු වූයේ කෙසේද යන්න ගැන ය. එමෙන්ම ආපසු පැන ගියේ කොහෙන්ද යන්න ගැනයි. කොයි පැත්තකින් පලා ගියද වෙනත් කිසිවකට අත නොගසාම ගියේ ඇයි? මායා තම විලාපය දිගටම කරගෙන ගියාය. “අපට අයිති හැම දෙයක් ම අරන් ගියත් කමක් නෑ මේ අනුන්ගෙන් ඉල්ල ගත්තු මාලෙ නොගෙනිහින්... දැන් කොහොමද මම මගේ යෙහෙළියට මූණ දෙන්නෙ?”

”මිනිසුන්ගෙන් එක එක දේවල් ණයට ඉල්ල ගන්න එපා කියල මං ඔයාට කිව්වෙ නැද්ද?” කෝපයෙන් සහ ශෝකයෙන් මිරිකුණු පණ්ඩිත බාලක් රාම් බලා සිටියේය. “කොහොමද ඒ වගේ වටිනා මාලයක් ආපහු දෙන්නෙ?”

”ඒක හොරු අරන් කියල කියන්න තමයි වෙන්නෙ...” මායා කීවාය. “හොරකම් කරපු එහෙක හිලව්වට තව එකක් හොරකම් කරන එකත් බලාපොරොත්තු තියන්න බැරි එකක්නෙ...” පණ්ඩිත බාලක් ඇගේ තර්කය අගය කළේ නැත. “මාලය හොරකම් කළේ ඔයාගෙ ගෙදරදීයි”, ඔහු කීවේය. “ඔයාට ඒක ආපහු කියන්න වෙනවා. ඒක හරියටම හොරකම් කරන් ගිහින්ද නැත්ද කියන එක අසල්වැසියා දන්නෙ කොහොමද? අප විනාශයි..., මායා කෑගැසුවේ, කොහෙන්ද මාලෙට හිලව්වට මුළු මුදල ම ලබාදෙන්නෙ?” කියාය. “ඒක ඉතින් මොනව හරි කරල හොයාගන්ඩ ඕනෑ” පණ්ඩිත බාලක් පැවැසීය.

කොහොම වුණත් එය පුද්ගලයකු ගේ ගෞරවය පිළිබඳ ප්‍රශ්නයක් වන බව ඔහු කීවේය. “ඒත් මිනිසුන්ගෙන් ණයට ස්වර්ණාභරණ ගත්තම කරන්ඩ තියෙන්නෙ මොකක්ද?” 

“මම හරි අවාසනාවන්ත ගැහැනියක්,” මායා පිළිතුරු දුන්නේ ඉකිබිඳුම් මැදය. “මටත් වඩා අවාසනාවන්ත ගෑනියක් තවත් ඉන්නවද? මගේ අකාරුණික ලැබීම දිහා බලන්න... මගේ කරට කියල ණයට ගත්ත මාලයක්වත් දකින්න නැති හැටි” පණ්ඩිත බාලක් රාම් උත්සාහ කළේ ඉහිරුණු කිරට හඬා පලක් නැති බැවින් ඇය ලබාගෙන තිබූ මාලය ආපසු ලබා දෙන බව ඇගේ යෙහෙළියට දන්වන ලෙස තම බිරිඳට කීවේය.

* * *

සාමාන්‍යයෙන් පණ්ඩිත බාලක් රාම් අසහනයට හෝ කනස්සල්ලට පත්ව සිටීමට පුරුදු වූයේ නැත. ඔහුගේ කායික මානසික සමතුලිතතාව අවුල්වූයේ නැත. එහෙත් මාලය නැතිවීමත් එය ආපසු ලබා දිය යුතු වීමත් ඔහුගේ ගෞරවය ආරක්ෂා කර ගත යුතු වීමත් හේතුවෙන් සෑහෙන තරමට කනස්සල්ලට පත්විය. ඔහුගේ නිදහස් නිස්කලංක ජීවිතය අතීතයට එක්වූ දෙයක් වූ අතර ආදායම් මාර්ග වැඩිකරගෙන ණය ගෙවීම සාක්ෂාත් කරගැනීමේ විධික්‍රම ඉතා කල්පනාවෙන් සැලසුම් කළේය. ඊළඟ හය මාසය ඔහුට ස්වයං වන්දි ගෙවීමක් විය. පණ්ඩිත බාලක් රාම් අමතර මුදලක් සෙවීම සඳහා ජීවිත කාලයට ම එක් වරක්වත් බ්‍රාහ්මණයන් සඳහා විවෘත වූ මාවත්වලට ගොස් තිබුණේ නැත. පාසල අවසන් වූ වහාම ඔහු ඒ මාවත් දෙසට ගියේ පිටවී ගියේ ගීත ගායනා කිරීමට ය. අනතුරුව මහ රෑ වනතුරුත් ඔහු හඳහන් කේන්දර බැලීමට වාඩිවූයේය. උදෑසනවල් ප්‍රයෝජනයට ගත්තේ දුර්ගා චරිතය හඬ නඟා ගායනා කරන්නටය.

* * * *

දිනක් හැන්දෑවේ මායා පහන් දල්වන්නට සූදානම් ව සිටියදී පණ්ඩිත බාලක් රාම් ගෙදර ආවේය. කුඩා ඇසුරුමක් එළියට ගනිමින් ඔහු කීවේ, “මෙන්න ඔයාට. දැන් ඔයාට පුළුවනි ඔයාගෙ ණය ගෙවල දාන්න...” මායා ඇසුරුම දිගහැර බැලූ අතර එතුළ වූ රන් මාලය දුටුවාය. ඇයට තම ඇස් අදහාගත නොහැකිවිය. එවැනි දෙයක් ගැන ඇය දිගු කලක් මහත් ආශාවෙන් බලා සිටියාය. එය සිහිනයක් සැබෑවීමකි. “ඔයා තාමත් මා එක්ක හිත්පීඩාවෙන්ද?”, ඇය කීවේ ඇගේ ඇස් මාලයට ඇලී ගොස් තිබියදීය. ණය ආපසු ගෙවිය යුතුයි...” පණ්ඩිත බාලක් රාම් පිළිතුරු දුන්නේ ඉවසා දරාගත් හඬකිනි.

“හිත් පීඩාවේ ප්‍රශ්නය කොහේද?”

“ආපසු ගෙවිය යුතු ණයක් නෑ...” මායා කීවාය.

”ගත්ත ණය ආපසු දෙන්න කියන්න එහෙනම්,” පණ්ඩිත බාලක් රාම් සිය අදහස ප්‍රකාශ කළේය.

“ණය මුදලක් ගෙවන්නත් ණයක් අරගෙන නෑ..” මායා කීවාය.

”මේක ඔයාගෙන් මට ලැබුණ තෑග්ගක්” පණ්ඩිත බාලක් රාම් බාධා කළේය. සොරාගත් මාලය වෙනුවෙන් වන්දි ගෙවන්නට ඉදිරි හය මස පුරා නොකඩවා වෙහෙසී වැඩකරන හැටි ගැන ඔහු සිහින දර්ශන දුටුවේය. එහෙත් මායා ඔහුගේ බය පහසුවෙන් ඉවත් කළාය. “මාලය හොරකම් කර නෑ...” ඇය කීවේ සැහැල්ලුවෙනි. “ඔයාට කියල මාලයක් ගන්න මට තිබුණ එකම මාර්ගය ඒකයි...” පණ්ඩිත බාලක් රාම් ශාස්ත්‍රී සහනයේ සුසුමක් හෙළුවේය. ඔහුගේ තොල්මත මලානික සිනාවක් සටහන් විය. ඔහු ඔහුගේ ඇතුළාන්තයේ වූ හැඟීම් පාවා නොදී කීවේ,

”දෙවියන්ට ස්තුතිවන්ත වන්නට ඔයාගෙ දිගු කලක් පැවැති බලවත් ඉල්ලීම ලැබී අත්විඳ තිබෙනවා.... එවැනි උපාය උපක්‍රම ආයෙමත් යොදන්න එපා....”

https://archives.silumina.lk/punkalasa/20100627/_art.asp?fn=ar1006273

Nissanka Rajapaksa

unread,
Apr 5, 2024, 9:06:17 PMApr 5
to INDRAKA group
4
රූප විපර්යාස

- මහාචාර්ය පියසීලි විජේමාන්න

මාමලාගේ නිවසේ මට ලැබුණේ ශානිකා අක්කලා සිටි කාමරයයි. අහළ පහළ ළඟ - ළඟ ගෙවල් තිබුණ ද පරිසරය බෙහෙවින් නිසලය. මාමා උදේට ගෙවත්තේ වැඩ කරයි. හවසට පුවත්පත් කියවයි. නැන්දාගේ කාලය වැඩිපුර ම වැය වන්නේ ඉහුම් – පිහුම් සඳහා ය. ඈ නිතර ම නොසන්සුන් ගතියෙන් පසු වෙයි. ‘ඒ දවස්වල ශානිකා දුවනෙ මේවා කළේ. චූටි පුතා බලාගන්න ගෑනියෙක් දවස ගානෙ ආවනෙ. වැඩට කෙනෙක් නැතිව දැන් නම් බෑ’යි නැන්දා නිතර කියන්නට වූවා ය. මෙහි නතරවීම ඔවුන්ට කරදරයක් වීම ගැන මගේ සිතට පසුතැවිල්ලක් රිංගීමට වෑයම් කරයි.

නැන්දා ඇගේ ගුරු මිතුරියන්ට, ගෝලයන්ට පණිවුඩ යැව්වා ය. ඇගේ පණිවුඩවලට ඉක්මන් ප්‍රතිචාර ලැබුණි. පණිවුඩයට අනුව රස්සාව සොයා පැමිණි ගැහැනුන් ගැන විස්තර මාමාත් මාත් දැනගත්තේ රාත්‍රී කෑම මේසයේදී ය. නැන්දා ගැහැනුන් විමසුමට ලක් කරන්නේ නිවසේ ඉදිරිපස ආලින්දයේදී ය.

මට මුලින් සිතුණේ මා නිසා තරුණ සේවිකාවක ගැනීමට නැන්දා අකමැති වනවා ඇත කියා ය. එහෙත් ඈ ඉඳුල් පිඟන් ද ගෙන කුස්සියට ගියේ “රෑ වැටුණ වළේ දවල් වැටෙන්න ඕනයැ” කියා ගෙන ය. මාමා ඔළුව බිමට හරවා ගෙන සිටියේ ය. මට මාමා දෙස හොරැහින් බැලුණි. මගේ නෙත් කොන් බැල්ම ඔහු මා දෙස යටැසින් හෙළූ බැල්ම හා ගැටුණි. එවැනි බැලීම් දැන් අපට හුරුපුරුදු ය.

දිනක් මහලුත් නොවන තරුණත් නොවන ගැහැනියක් රැකියාවක් සොයා පැමිණියා ය. මා එවේලේ සිටියේ මිදුලේ ජෑම් ගහ යට පොතක් බලමිනි. ගැහැනිය එවන ලද්දේ නැන්දාගේ මිතුරියක විසිනි. ගැහැනිය ඒ මිතුරිය දී තිබූ ලියුම් කැබැල්ල නැන්දාට දුන්නා ය.

”නම? ම්.. ලීලාවතී.. ලීලාවතී කලින් වැඩ කෙරුවෙ කොහෙද?”

”කොහෙවත් ගෙවල්වල වැඩ කෙරුවෙ නම් නෑ. කාලයක් පල්ලෙකැලේ භාවනා මධ්‍යස්ථානෙ උයන-පිහන, අතු-පතු ගාන වැඩට උදව්වුණා.”

”ඇයි එතනින් අයින් වුණේ?”

”එතන පඩියක් බලාගෙන ම නෙමෙයි වැඩ කෙරුවෙ. තව අය හිටියා වැඩට.. ඊට පස්සෙ මගෙ දුව හසලක ඉන්නෙ. එයාගෙ කකුල කැඩිලා. එයා ව බලාගන්න කියලා බෑණා ඇවිත් මාව එක්කන් ගියා.”

”නිතර නිතර ගෙදර යන්න නම් බෑ හොඳේ. මාසෙ අන්තිමට, අපිට උයලා තියලා එහෙම එක දවසකට ගිහින් එන්න පුළුවන්” ගැහැනිය උත්තරයක් නුදුන්නා ය.

”පවුල් බරක් නැද්ද?”

”නෑ. දුවලා බැඳලා”

”පදිංචිය කොහෙද?”

”ස්ථිර පදිංචි තැනක් නෑ”

”එතකොට?” ගැහැනිය නිහඬ ය.

”මෙහෙ උයන්න තියෙනවා. අර පුංචි මහත්තයා විභාගෙට පාඩම් කරනවා. එයාට උදේට ඒ වගේ ම රෑට ඉඳිආප්ප, ආප්ප, පිට්ටු වගෙ මොන මොනවා හරි හදලා දෙන්න ඕනෑ. වත්ත මිදුල අතුගාන්න ඕනෑ. වොෂින් මැෂින් එක කැඩිලා. ඉතින් රෙදි සෝදන්නත් තියෙනවා.” ගැහැනිය පිළිතුරක් නොදී බලා සිටියා ය.

”පඩිය කීයක් විතර බලාපොරොත්තු වෙනවද?”

”දෙදාස් පන්සීයක්වත් ඕනෑ. මගෙ පින්දහම් වැඩවලට සෑහෙන්න වියදම් යනවා.”

”පින්දහම්?”

”ඔව්, මං මේ කියන්ඩ තමා හැදුවෙ. ඇත්ත කියන්ඩ එපායැ. මහ පෝයට මම සිල් ගන්නවා. හැම මාසෙම හත් වෙනිදට ගැටඹේ පන්සලේ සුවාමීන් වහන්සේලාට දානෙ දෙනවා. බාවනා වැඩසටහන්වලට යනවා.

”මගෙ අම්මේ! ගෙදරක වැඩක් කරන්න වෙලාවක් තියේයැ. අපිට ඕනෑ ගෙදර වැඩට කෙනෙක්. අපි වෙනකෙනෙක් හොයා ගන්නම්.”

ලීලාවතීගේ පින් අතේ වැඩ කටයුතු ඇසූ විට මට ද සිතුණේ ඇයට ගෙදරක වැඩ කිරීමට කාලයක් තිබේද කියා ය. රාත්‍රි ආහාරය ගනිද්දී නැන්දා ඒ ගැහැනිය ගැන සඳහන් කළේ උපහාසාත්මක ව ය.

තවත් දින කීපයක් ගත විය. නැන්දා කුස්සියේ වැඩ කරන ශබ්දය අහල- පහල ගෙවල්වල වැසියන්ටත් ඇසෙනවා ඇත. ඈ අතින් පිඟන් කෝප්ප බිම වැටෙයි. සාස්පාන් මහ හඬින් එකට වැදෙයි. ඇයට විදුලි පහන් නිවීමට අමතක වෙයි. නිතර කේන්ති යයි. මාමාට බණින්නට හේතුවක් සොයයි. මගේ සිතට අර පසුතැවිල්ල ප්‍රවේශ වෙයි. විශ්‍රාම වැටුප් දින නුවරදී පරණ යහළුවකු හමු වූවොත් මාමා රෑ බෝවී ආපසු එන්නේ බමන මතිනි.

පිඟන් පොළොවේ ගහන්නේ බීමතින් වැනෙන මාමා නොවේ නැන්දා ය. ඈ මාමා සඳහා මේසය උඩ වසා ඇති කෑම දීසි පොළවේ ගසයි. මාමා හෙමින් සීරුවේ කාමරයට රිංගයි. මම ගොස් බිම පිරිසිදු කරමි. අර පසුතැවිල්ල නැවතත් මා රිදවයි.

නැන්දා කලබලයෙන් නිවසේ එහාට මෙහාට යයි. මට නැවතත් වරදක් කරන්නකුගේ හැඟීමක් ඇති විය.

”නැන්දට මේ.. මේ.. කරදර අස්සෙ.. ඒක නෙමේ නැන්දෙ, මං.. මං....පි..පි.. පිටින් කෑම ගන්නම්.”

නැන්දාගේ මුහුණ තක්කලි මෙන් රතුවෙයි. මම තක්කාලිවලට කැමැති නැත. ගැස්ට්‍රයිටිස් නිසා කොහොමටත් මට තක්කාලි අගුණ ය. මා එය වෙනස් විදියකට කිව යුතුව තිබුණි. නැතිනම් එය නොකිව යුතුව තිබුණි. වතුර පැසී කේතලය විසිල් හඬක් නංවයි. නැන්දා ‘බුස්’ ගා කේතලය උස්සද්දී උණු වතුර බිඳු කීපයක් ඇගේ ඇඳුමට වීසි විය.

”නැන්දෙ, අපි අර උපාසකම්මා ගෙන්න ගමු.”

නැන්දා ලීලාවතී එවූ මිතුරිය හමුවීමට මා පිටත් කළා ය. එයින් දින තුනකට පසු ලීලාවතී කුඩා ගමන් බෑගයක් ද ගෙන පැමිණියා ය. නැන්දා ඇය හා සුහද කතා බහක් නැතිව ගබඩා කාමරය අස්කර දී කුස්සිය පෙන්වා මාමාටත් මටත් කෑම පිළියෙළ කළ යුතු විශේෂ ආකාරය විධානාත්මක ස්වරයකින් විස්තර කළා ය. පරල වූවා සේ තවත් උපදෙස් මාලාවක් කියවා ගෙන ගියා ය. ඊට පසු නැන්දා හති දමමින් කාමරයට ගියා ය. ‘කරන්න දෙයක් නැතිකමට’යි ඈ සිතුවා වන්නට ඇත.

උපාසකම්මා චීත්තයක් හා සුදු හැට්ටයක් හැඳගෙන පළමු ව තම කුටිය පිරිසිදු කර දෙවනුව කුස්සියේ මකුළු දැල් කඩා බිම සෝදා පිරිසිදු කළා ය. නැන්දා දුන් ලැයිස්තුවක බඩු මිලදී ගෙන පැය දෙක හමාරකට පමණ පසු මා ටවුමේ සිට ආපසු පැමිණි විට උපාසකම්මා මැල වී තිබූ මල් පැළවලට වතුර දමමින් සිටියා ය. සාලයේත් කෑම කාමරයේත් කුස්සි පෙදෙසේත් සිත සනහන නෙත පිනවන සෑහෙන වෙනසක් සිදු වී තිබුණි.

පසු දින උදේ කෑම මේසය ඇර ගොස් උපාසකම්මා සිහින් හඬින් පිරිත් කියනු ඇසිණ. නැන්දා සිනාසෙමින් ගොස් විපරම් කර අවුත් “අතන කොරිඩෝවෙ බුදුගෙයක් හදාගෙන. බුදු හාමුදුරුවන්ගෙ පින්තූරයක් බිත්තියෙ අලෝගෙන වැඳගෙන පිරිත් කියනවා” රහස් හඩින් කීවා ය.

උපාසකම්මා කඩියකු මෙන් වැඩ කළා ය. නැන්දාගේ කලබලකාරී ගතිය කෙමෙන් අඩු වෙමින් පැවතුණි. උපාසකම්මා ඊට දින තුනකට පසු එළඹුණු සෙනසුරාදා බෝධි පූජාවට යෑමට සූදානම් වූ විට නම් නැන්දාට නැවතත් කේන්තිය ඇවිස්සුණේ ය.

”මං මැඩම්ට එදාම කිව්වනෙ... අදට සේරම වැඩ ඉවරයි. රෑට කෑම හරි. මං ‘සුරුස්’ ගාලා ඇවිත් රත්කරලා මේසෙ අරින්නම්.”

නැන්දා ගස්සාගෙන කාමරය තුළට ගියේ “ඔහොම ගියොත් රහත් වෙලා එර්දියෙන් යාවි” කියමිනි.

උපාසකම්මා ආපසු පැමිණියේ කොයි වෙලාවේදැයි අපි නුදුටුවෙමු. එහෙත් ඈ වෙලාවට රෑ කෑම මේසය ඇරියා ය. කෑම කා අහවර වූ පසු නැන්දා “ලීලාවතී, මේවා අස්කළා නම්, ඕන්, ලීලාවතීට මාළු කෑලි දෙකක් ම ඉතිරි කෙරුවා”යි කීවා ය.

”අනේ මට කියන්ඩ බැරිවුණානෙ. මං මස්, මාළු, බිත්තර මොකවත් කන්නෙ නෑ. මැඩම්ලා කන්ඩ එපායැ. තියමු එහෙනං පුංචි මහත්තයට උදේට කන්ඩ”

දවස් කෙමෙන් ගත වෙත් ම නැන්දාගෙ අසහනකාරී ගතිය ද ඉක්මනින් කෝප වන ස්වභාවය ද අඩු විය. ලීලාවතී ඇයට ළඟාකර දුන් විවේකය එයට හේතු වන්නට ඇත. නැන්දා දැන් දැන් නිතර ලීලාවතී හා සංවාදයේ යෙදෙන බව ද කෑම මේසයේදී අපට හෙළි විය.

”අනේ, මෙයා, අර ලීලම්මා”

”ලීලම්මා?”

”ඔව්”යි නැන්දා කීවේ ලීලාවතී මිදුල අතුගාන ශබ්දය ඇසෙන දෙසට නිකට දික් කරමිනි.

”ලීලම්මා! ඉතින්?”

”සෑහෙන්න දුක් කරදර විඳලා තියෙනවා. දුවලා දෙන්නෙක් ඉන්නවලු. ලොකු දුව ඔය මයියංගනේ දිහාලු. බැඳලා. විස්තරේ කිව්වා. මට හරි හැටි මතක නෑ. බාල දුව ඉගෙන ගන්න දස්සව හිටියලු.

සරසවි උයනට ගිහින් තියෙන්නෙ. ලීලම්මා වියදම් කරලා ටියුෂන් පන්තිත් ඇරියලු. ඒත් ඕ ලෙවල් පන්තියෙ ඉන්න කාලෙ බිල්ඩිමක අත් උදව්වට ඇවිත් හිටිය ජේත්තුකාර ඉලංදාරියෙක් එක්ක පැනලා ගියාලු. අද වෙනකන් කොහෙ ඉන්නවද දන්නෙ නැහැල්ලු. ඉතින් ඒකට ලීලම්මා අඬ අඬ ඉන්න කාලෙ නිමිති බලන්න එහෙ මෙහෙ දුවන කාලෙ මිනිහා වෙන ගෑනියෙක් එක්ක සම්බන්ධකම් පවත්වනවා කියලා ආරංචි වුණාලු. ඒකට ලීලම්මා වලි දාන කොට මිනිහා ඒකි ව ගෙදරට ම එක්කන් ආවලු. බැලින්නම් ලීලම්මට දුර නෑකමට දුවක් වෙන එකියක්ලු. ඉතින් ලීලම්මා අයිඩෙන්ටිය විතරක් අරන් ගෙදරින් පිට වුණාලු.

අතේ තිබුණෙ රුපියල් පනහලු. දිගන පැත්තෙ අඳුරන පවුලක් ඉන්නවලු. එහෙ යන්න හිතාගෙන බස් එකට නැංගලු. බස් එකේදිත් එයාට ඇඬුණලු. ඉතින් ළඟ ඉඳපු ලේඩි කෙනෙක් තොරතුරු ඇහුවලු. ඒ ලේඩි පල්ලෙකැලේ භාවනා මධ්‍යස්ථානෙට එක්කන් ගියාලු. ඉතින් ලීලම්මා එතන උයන වැඩටත් උදව් වෙන අතරෙ භාවනා කෙරුවලු. පනහකට හැටකට වුනත් උයලා පුරුදුයිලු ලීලම්මට. ඉස්සරත් කුලියට එහෙම උයලා තියෙනවලු. පල්ලෙකැලේ අවුරුදු ගාණක් ඉඳලා තියෙනවා. ලොකු දුවගෙ කකුල කැඩිලා ආරංචි කරලා බෑණා මෙයාව හොයාගෙන හොයාගෙන ඇවිල්ලා එක්කන් ගියාලු. එහෙදි පස්සෙ මහ විශාල යායවල්වල කුලියට ගොයම් කපන්න එහෙම යන්න වුණාලු. කුලිය බෑණා ඉල්ලා ගන්නවලු. මැලේරියාවත් හැදුනලු. පස්සෙ ඇවිත් මාස ගණනක් අඳුරන තැනක හිටියලු. ධර්මෙ කියන්නෙ...”

”කවුද දර්මෙ?”

”බුද්ධ ධර්මෙ, මෙයා, බුද්ධ ධර්මෙ කියලා තියෙන්නෙ අත් අරින්න කියලලු”

”අම්මට සිරි!”

හොඳ සුවඳක් මෑතක සිට නිවස පුරා පැතිරෙයි. මම දිනක් ලීලම්මාගේ බුදු කුටියට එබුණෙමි. එහි කුඩා මේසයක් මත බුදු පිළිමයක් ද කුඩා පිත්තල පහනක් ද සුවඳකූරු රඳවනයක් ද මල් වට්ටියක්ද විය. බිමට පියකරු කළාල පැදුරක් අතුරා තිබුණි.

”මැඩම් තමා පිළිම වහන්සෙ ගෙනාවෙ. මේසෙකුත් දුන්නා. මේ පැදුරත් ගෙනැවිත් දුන්නා’යි ලීලම්මා පැවසුවා ය.

ඈ දැන් ලීලම්මා සමඟ බෝධි පූජාවට යයි. දෙදෙනා හරියට ගජ යෙහෙළියන් වගේ ය. සුදු වතින් සැරසී විකසිත මුහුණින් යුතු ව ගමන් ගන්නා නැන්දා දෙස මාමා ආළින්දයට වී බලා සිටියි. ඔහු තවමත් විවාහයට පෙර පෙම් බැඳි සමයේ මෙන් තම නෑනාට ආදරය කරනවා විය හැකි යයි මට සිතුණි. ඔහු ඉස්සර ඇගේ අවලාදත් දැන් ඇගේ ආගමික නැඹුරුවත් ඉවසුවේ, ඉවසා සිටින්නේ ඒ නිසා විය හැකි යයි ද මට සිතුණේ ය. මම ඇතුළතින් සිනාසුණෙමි.

නැන්දලා ආපසු එන්නේ නායක හිමියන් විසින් දෙන ලද පිරිත් නූල් ද පිරිත් වතුර ද රැගෙන ය. මාමාගේත් මගේත් අත්වල දැන් නිතර ම පිරිත් නූල් ඇත. මාමාට දැන් අසනීප ගතියක් නැත. ඔහුගේ බෙහෙත් වඩිය ද අඩු කර ඇත. ඔහු ලීලම්මා තම්බා දෙන කොතල හිඹුටු පෙරැත්තයක් නැති ව බොයි. ගෙවත්තේ බර වැඩක් නොකරයි. එහෙත් සෑහෙන වෙලාවක් ගෙවත්තේ ගත කරයි. ලේනුන් සඳහා ලීලම්මා සාදා ඇති තට්ටුවට එන ලේනුන් හා කුරුල්ලන් දෙස බලා සිටියි. පුවත්පත් කියවයි.

දිනක් නැන්දා පසු දින දෙන දානය පිළිබඳ කටයුතුවලට උදව් වීමට ලීලම්මා සමඟ පන්සලට යෑමට පිටත් ව මට කතා කළා ය. “රෝහිත පුතේ, ලීලම්මා නම් පන්සලේ නවතිනවනෙ. මට රෑ තනියම ආපසු එන්න බෑ. පුතා එනවද දහයට විතර පන්සලට”යි නැන්දා මගෙන් ඉල්ලා සිටියා ය. එදින රෑ අටට පමණ මාමා මගේ කාමරයට එබුණේ ය.

”පුතා පාඩම් කරන්න. විභාගෙත් ළඟයිනෙ. මං නිකම් ඉන්න එකේ නැන්දා එක්කන් එන්නම්. දොර ලොක් කරගන්න”යි කීවේ ය.

ඔහු ඒ වෙලාවේ ගියේ හැකි ඉක්මනින් නැන්දා ආපසු කැඳවාගෙන ඒමට යයි මම සිතුවෙමි. එහෙත් ඔවුන් දෙදෙන ආපසු එන විට රෑ දොළහටත් ආසන්න වී තිබුණි. මාමගේ කටහඬ ගේට්ටුව දෙසින් ඇසෙන විට මා සිතුවේ ඔහු නැන්දාට බණිනවා විය හැකියයි කියා ය. මම දොර ඇර ‘කෝකටත් පරෙස්සම් වෙන එක හොඳයි’ සිතා දොර පියන පිටුපසට වීමි. ඔහු මා දෙසවත් නොබලා කතා කරමින් ම ගෙට ඇතුළු විය. ඔහු බෙහෙවින් දොඩමළු ව සිටියේ ය. නැන්දා ඔහුට ඇහුම්කන් දී සිටියි.

මම කුතුහලයෙන් යුතු ව කන්දුන්නෙමි. ඔහු විස්තර කළේ පන්සලේ හිමිනමකගෙන් බුද්ධ ශාසනය ගැන දැනගත් කරුණු වගයක් බවත්, ඒ හිමි නම ඉන්දියාවේ පී.එච්.ඩී. උපාධිය හදාරමින් සිට නිවාඩුවකට ආපසු පැමිණ සිටින අයකු බවත් මට තේරුම් ගියේ ය.

”ලබන මාසෙ ආයෙ ආපසු යනවලු... නෑ වඩිනවලු. දැන් බටහිර රටවල හුඟක් අය බුද්ධාගමට එනවලු. ඒ බුදු හාමුදුරුවන්ගෙ ඉගැන්වීම්වල තියෙන ප්‍රායෝගිකත්වය හින්දලු. ‘එහිපස්සිකො’ කියන්නෙ එන්න විමසා බලන්න කියන එකනෙ” මාමා මහත් උනන්දුවෙන් පැහැදිලි කරයි.

”මේ මට පොත් පිංචක් දුන්නා. බලමු.. ම්.. උපාලි සූත්‍රයේ ඉංග්‍රීසි පරිවර්තනයක්... මට හරි ආඩම්බර හිතුණා බෞද්ධයෙක් වෙච්ච එක ගැන. මට එයා.. නෑ.. උන්නාන්සෙ කිව්වා නුවර බුඩිස්ට් පබ්ලිකේෂන් සොසයටි එකට බැඳෙන්න කියලා.. බෞද්ධ දර්ශනය ගැන හොඳ පොත් ඉංග්‍රීසියෙන් ලියවිලා තියෙනවලු. සූත්‍ර පරිවර්තන වුණත් සිංහල ඒවට වඩා ඉංග්‍රීසි ඒවා පැහැදිලියිලු.”

පසුදින මා නැවතත් ගෙදර තනි වූයේ නැන්දා පන්සලටත් මාමා නුවරත් ගිය බැවිනි. බුදුදහම පිළිබඳ ව ලීලම්මාගේත් නැන්දාගේත් මාමාගේත් ස්ථාවරය විවිධ මට්ටම්වලට අයත් යැයි මට සිතුණි. එය හරියට මේ ගෙදර ඔවුන් රඟන භූමිකාව වැනිය. මාමා ඉන්නේ ඉහළ පඩියේ ය. මා ඉන්නේ කොහෙද? දැන්නම් මේ ගෙදර මගේ ම ගෙදර වගේ ය.

දැන් මට කැමැති ආහාර පාන වේලාවට ලැබේ. ලීලම්මා මගේ රෙදි සෝදයි. පෙර මට පිටස්තර හැඟීමක් ජනිත කළ කලහකාරී පරිසරය ද දැන් නැත. එහෙත් මගේ සිත නොසන්සුන්ය. මට විභාගය ගැන බය සිතෙයි.

මට ලීලම්මා වරක් කිවූ දෙයක් සිහි වෙයි. “පුංචි මහත්තයාත් උදේට බුදුන් වඳින්ඩ. හිත සංසුන් වුණා ම කරුණු මතක හිටිනවා” මම හෙමින් සීරුවේ ගොස් සෙරෙප්පු ගලවා තබා බුදු කුටියට වැඳ පන්සිල් ගත්තෙමි. පහනට තව තෙල් ටිකක් දැම්මෙමි. දැල්ල නැවතත් දීප්තිමත් විය. සුවඳ කූරු දෙකක් ම පත්තු කර දවටනයේ රැඳවීමි.

Nihal Ananda

unread,
Apr 5, 2024, 10:36:46 PMApr 5
to INDRAKA group
4
රූප විපර්යාස

- මහාචාර්ය පියසීලි විජේමාන්න
.................................................................

ටොප් ........ කෙටි කතාවකි  !

Nissanka Rajapaksa

unread,
Apr 6, 2024, 8:19:24 PMApr 6
to INDRAKA group
5
මැදියම් රැයේ දැරිවිය 

ඉන්දීය ලේඛක බෝධි ශ්‍රී ශාස්ත්‍රී ගේ The Daughter නම් කෙටි කතාව ඇසුරෙනි

අනුවාදය උපුල් වික්‍රමනායක

එය කුණාටු සහිත දැඩි ශීතලයෙන් යුතු රැයක් විය. නිල් අහස් තලය එහෙන් පිටින් ම වාගේ වසාගෙන තිබුණ මන්දාරම් වලාකුළු රාත්‍රියේ අඳුර තව තවත් වැඩි කළේ ය.

තවත් ටික වෙලාවක් ගෙවීයත් ම හමමින් තිබුණු මන්ද මාරුතය ටිකින් ටික තුනීවී ගියේ ය. එහෙත් ඒ සමඟ ම වාගේ කිසිවකු තමා වෙත රඳවාගෙන තිබුණ විශාල බරකින් ටිකින් ටික මිදෙන්නාක් පරිද්දෙන් සීතල පිනි බිංදු එකින් එක ළා තණපත් මතත් ඉපල් වී ගොස් තිබුණ විශාල ගස් මතත් පතිත වීමට පටන් ගත්තේ ය.

ඒ වනවිට මැදියම් රැයට ආසන්න ව තිබුණේ ය. මේ අතර දොස්තර රග්හොව් ඔහුගේ දහසකුත් එකක් රාජකාරි අතුරෙන් ඉතාමත් වැදගත් රාජකාරියක් ලෙස සලකන, දිනපොත ලිවීමෙන් අනතුරු ව නින්දට යාමට සූදානම් ව සිටියේ ය.

මේසය මත්තෙහි තිබුණ වතුර වීදුරුවෙන් භාගයක් පමණ පානය කළ දොස්තර රග්හොව් ඉක්මනින් ම සිය සයනයට වැද දෑස් පියා ගත්තේ ය. ඒ හෙට දවස තුළ කළ යුතු වැඩ රාජකාරි ගැන ඡායාමාත්‍රයක් බඳු සැලසුමක් ද සිත තුළ ගොඩනඟමිනි.

ඉතාමත් දැඩි වෙහෙසට පත් ව සිටි දොස්තර රග්හොව් සයනයට පිවිසි විගස ම වාගේ තද නින්දකට පත්විය.

මේ අතර මෙතෙක් වේලා මූසල අඳුරකින් ලොව ම වසාගෙන සිටි අඳුරු වලාකුළු ඒ මේ අත විසිර ගොස් තිබිණ. අඩ කවක් බඳු චන්ද්‍රයා ඈත කඳු වළල්ල මුදුණේ සිට පොළෝතලය දෙසට කාරුණික වූ බැල්මක් හෙළමින් සිටියේ ය. දැඩි ශීතලත් ගන මීදුමත් සහිත මේ නිසංසල රාත්‍රියේ නිහැඬියාව බිඳ හෙළමින් ඈත කඳු වළල්ලට ඔබ්බෙන් තැනෙක බල්ලකුගේ බිරුම් හඬක් ගුවන් ගැබට මුසු විය.

මේ අතර දොස්තර රග්හොව්ගේ නිවෙස දෙසට කිසිවෙක් ගමන් කරමින් සිටියේ ය.

ටක්! ටක්!! ටක්!!!

තවත් ටික වේලාවක් යත් ම කිසිවෙක් නිවෙසේ දොරට තට්ටු කළේ ය. එහෙත් එය නිවෙසේ සිටි කිසිවකුට හෝ ඇසුණේ නැත.

ටක්! ටක්!! ටක්!!!

නැවත නැවතත් දොරට තඩි බාන්නට විය. එය එන්න එන්න ම වේගවත් වන්නට ද විය.

”මේ... බලන්න....’ බිරිය දොස්තර මහතා අවදි කළේ ය. ‘කවුද අපේ දොරට ගහනවා...’

’මේ වෙලාවෙ?... දැන් රෑ එකත් පහුවෙලා ඇති. කොයිකටත් පොඩ්ඩක් බලමු...’

’දොස්තර මහත්තයෝ, දොස්තර මහත්තයෝ’

කුඩා ගැහැනු ළමයකුගේ කට හඬක් දොස්තර මහතාගේ නිවෙස ඉදිරිපිටින් ඇසෙන්නට විය.

’ළමයකුගේ කට හඬ...’

දොස්තර රග්හොව් තරමක් පුදුමයට පත්වෙමින් කීවේ ය.

රග්හොව් මහත්මිය දොර සමීපයට පැමිණියා ය. දැරිය ගේ කට හඬ ඇසුණු මහලු මෙහෙකාරිය ද ඒ සමඟම දොර සමීපයට ගියා ය.

’කව්ද ඔතැන...?’ මහලු මෙහෙකාරිය තරමක් උස් හඬින් කෑ ගසා ඇතුළත සිට ඇසුවා ය.

’කරුණාකරල දොර අරින්න. මගේ අම්මට ගොඩක් අමාරුයි’ පිටත සිට බැගෑපත් ලෙසින් පිළිතුරක් නික්මුණේ ය.

’හෙට උදේට එන්න දොස්තර මහත්තයා හොඳට ම නිදි’ මහලු මෙහෙකාරිය රග්හොව් මහත්මියගේ මුහුණ දෙස බලමින් පිළිතුරක් දුන්නා ය.

’මගෙ දෙයියෝ... ඒ වෙනකොට අම්මා මියයාවි’ තවත් තත්පර කීපයක් ඉතාමත් දැඩි නිහඬතාවයක ගිලී ගියේ ය.

’කවුද?’ දොස්තර රග්හොව් සිය බිරිඳ සමීපයට පැමිණෙමින් ඇසුවේ ය.

’මහත්තයා පුංචි කෙල්ලක්’

’මොකටද එයා ඇවිත් තියෙන්නේ? මේ හීතලේ තනියම...’

’එයාගෙ අම්මට ගොඩක් අමාරුයිලු’

දොස්තර රග්හොව් දොර විවෘත කෙළේ ය.

වයස අවුරුදු 12 ක් පමණ වන කුඩා දැරියක් දොරටුවට අඩි කීපයක් ඔබ්බෙන් නතර වී සිටියා ය. අඳුරු වලාකුළු සහිත අහස් කුසේ යාන්තමට බැබළෙමින් තිබූ හඳ පළුවෙන් දැරියගේ ශෝකාකූල වත කමල දැකගත හැකි විය. තැනින් තැන ඉරී ගොස් තිබුණු කළු පැහැති ශීත කබායක් දැරිය හැඳගෙන සිටියා ය. ඕ බැලූ බැල්මට දැඩි ශීතලයටත් ඉඳහිට මඳ පවනක් ලෙසින් හමායන කටුක සුළඟටත් හසුව වෙහෙසකර තත්ත්වයටත්, පීඩාවටත් පත් ව සිටියා ය.

’මොකද දරුවා මේ වෙලාවෙ?’

මෙතෙක් වේලා යාන්තමට බැබළෙමින් තිබුණු හඳ පළුව මුවා කරමින් අඳුරු පැහැ වලාකුළු රාශියක් යළිත් අහස් ගැබේ ඒ මේ අත පාවී ගියේ ය. හිරිගඬු පිපෙන සීතල සුළං රැලි කීපයක් දොස්තර රග්හොව් මුහුණ පුරා පහර දෙන්නට විය. සම්, ලේ, ඇට මිදුළු පුරා විනිවිද ගිය සීතලය නිසා ඔහුටත් නොදැනීම වාගේ පියවර කීපයක් ආපස්සට තැබුවේ ය.

’අනේ දොස්තර මහත්තයො... මගෙ අම්මට ගොඩක් අමාරුයි. උදව් කරන්න.’

කෙතරම් දුෂ්කරවූත්, කටුකවූත් රාත්‍රියක් වුවද පුංචි දැරිය ගේ අසරණ විලාසය දුටු දොස්තර රග්හොව්ට ඇගේ ඉල්ලීම කිසිසේත් ම ප්‍රතික්ෂේප නොකළ හැකිවිය. දැරිය ගැන ඔහුට අනුකම්පාවක් ඇතිවිය. දැරිය තම මවගේ ජීවිතය උදෙසා මෙතරම් දුරක් පැමිණීම ගැන දොස්තර මහතාට යම් තරමක බියක්ද ඇතිවුණේ ය.

දොස්තර මහතා ඔහු ගේ ඖෂධ පෙට්ටියත්, වෙද නළාවත් ගෙන දැරිය සමඟ පිටත් විය.

වටාපිටාව මුළුල්ලේ ම වාගේ සීතල පිනි බින්දුවලින් නැහැවෙමින් තිබුණේ ය. සට සට ගා වැටෙන සීතල පිනි බින්දුවල හඬ හැරුණු විට හාත්පස සිසාරා ම පැතිරූ තිබුණේ සියුම් සූක්ෂ්ම ආකාරයකට පැතිර තිබුණේද යත් දොස්තර රග්හොව්ට ඔහු ගේ හෘද ස්පන්දනය පවා ඇසෙන සුලු විය.

කුඩා පාරවල් හා අතුරු පාරවල් කීපයකින් දොස්තර මහතාත් සමඟ ඇවිද ගෙන ගිය දැරිය ඉන් අනතුරුව පැරණි නිවසක් දෙසට ගියා ය.

වසර ගණනාවකින්වත් එය අලුත්වැඩියා කර තිබූ බවක් නොපෙනිණි. මකුළු දැල් සහ දුම් සුඹුලු බැලූ බැලූ සෑම තැනක ම විය. එම නිවස කිසිවකු විසින් අත්හැර දමනු ලැබූ එකක් මෙන් විය.

නිවස මහල් දෙකකින් යුතු එකක් විය. එහි ඇතුළත දැඩි අඳුරකින් පිරී තිබුණේ ය. එහෙත් ඉහළ මහලයේ එක් කාමරයක කෙළවරක කුඩා කුප්පි ලාම්පුවක් පමණක් දැල්වෙමින් තිබුණේ ය. ඉන් ගලාගෙන ආ ශේෂයක් බඳු ආලෝක කදම්බයක් ඉහළ මහලට පිවිසෙන පියගැටපෙළ යාන්තමට ආලෝකමත් කර තිබිණි. තැනින් තැන දිරාගොස් තිබුණු ලෑලි තරප්පු පෙළ දිග දොස්තර රග්හොව් ඉහළ මාලයට පිවිසුණේ ය.

වයස්ගත කාන්තාවක ගේ වේදනාත්මක කෙඳිරියක් ඔහුගේ සවනත වැකුණේ ය. දොස්තර රග්හොව්ට තවදුරටත් කාලය කා දැමීමට අවශ්‍ය නොවීය. හේ වහාම කෙඳිරිය නැඟුණු කාමරයට ඇතුළු විය.

වයස අවුරුදු පනහක් හැටක් පමණ වූ කාන්තාවක් වේදනාවෙන් කෙඳිරිගාමින් ඇඳ මත වැතිර සිටියා ය. ඕ දූවිලි බැඳි ඇතිරිල්ලක් පොරවාගෙන සිටියා ය. වැහැරී ගොස් තිබුණු ඇගේ ඇඟපත ඕ දිගු කාලයක් අසනීප වී සිටි බව කියාපාන්නක් බඳුයි.

’මොකක්ද අම්මා අමාරුව...’ දොස්තර රග්හොව් ඇගේ ඇඳ පසෙකින් වාඩි වෙමින් ඇසුවේ ය.

’දො.... දොස්තර ම.... මහත්තයා....’ කාන්තාව ඉතාමත් අපහසුවෙන් කෙඳිරි ගෑවා ය. ‘මගෙ අවසානය ඇවිත්.... ම්... මට හුස්ම ගන්න බෑ’ මහලු කාන්තාව කඳුළු වගුරුවමින් කීවා ය.

’අම්මා.... බලාපොරොත්තු සුන්කරගන්න එපා. මම ඔබට උදව් කරන්නම්’

දොස්තර රග්හොව් මහලු කාන්තාව කෙරෙහි දැඩි අනුකම්පාවත් ගෞරවයත් මුසුවූ හැඟීමකින් යුතු ව ඈ පරීක්ෂා කරන්නට විය.

ඉන් අනතුරු ව ඇයට නික්ෂේපණයක් සහ බෙහෙත් පෙති කීපයක්ද දුන්නේය. මීළඟ දින කීපය සඳහා ද බෙහෙත් නියම කළේ ය.

කාන්තාව දැඩි කෘතඥතාවකින් යුතුව දොස්තර මහතාගේ මුහුණ දෙස බලා සිටියා ය. කඳුළු කැට කීපයක් ඇගේ දෑස් අගින් නික්මුණේ ය. අනතුරුව ඕ දෑත් එකතු කර දොස්තර මහතාට ආචාර කළා ය.

මේ වන විට වේලාව උදෑසන දෙකත් පසුවී තිබුණේ ය. ශීතලය තව තවත් අධික වී තිබිණි. මීදුම දැඩි ව පැතිරී තිබුණේය. කාන්තාවද යහපත් අතට හැරෙමින් සිටියා ය.

දොස්තර මහතා තමාගේ ප්‍රතිකාරය ගැන සෑහීමකට පත්ව සිටියේ ය. හේ පියගැට පෙළ බැස ගෙන පහත මාලයට ආවේ ය. කුඩා දැරිය පියගැට පෙළ පාමුලට වී වාඩිවී හුන්නා ය. දෝතින් ම මුහුණ වසාගෙන සිටි ඕ දොස්තර මහතා දුටු විගස නැගී සිටියා ය.

’ඔයාගෙ අම්මට දැන් ගොඩක් සනීපයි’ දොස්තර මහතා දැරිය දෙස කාරුණික බැල්මක් හෙළමින් කීවේ ය.

දැරිය හිස මදක් පැත්තකට ඇලකර කෘතඥ පූර්වක බැල්මක් හෙළුවා ය. ඉක්බිති ඕ කිසිදු කතාවක් බහක් නැති ව වෛද්‍යවරයා දෙස බලා ඔහු ආපසු කැටුව යාමට සූදානම් වූවා ය.

දොස්තර රග්හොව් තම නිවස වෙත ළඟාවන විට ඔහුගේ බිරියත් මහලු මෙහෙකාරියත් ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියහ.

’හොඳයි නියම වෙලාවට බෙහෙත් දීපු හින්දා ලෙඩා බේරුණා. නැත්නම් එහෙම එයා ඉවරයි.’

දොස්තර රග්හොව් එක් වරම ගල් ගැසී ගියාක් මෙන් විය. ඒ ඔහුත් සමඟ පැමිණි කුඩා දැරිය පෙනෙන්නට නොවූ හෙයිනි. එහෙත් දැරිය පිළිබඳ ව තවදුරටත් විපරම් කිරීම කුමක් හෝ හේතුවක් විසින් වැළකනු ලැබුවාක් මෙනි.

මෙම සිදුවීම වී දින කිහිපයක් ගෙවී ගියේ ය. එහෙත් කුඩා දැරිය යළිත් වරක් තම මවගේ රෝගී තත්ත්වය කියාපෑමට නොආවාය. කාන්තාවගේ රෝගී තත්ත්වය සොයා බැලීමට කිසිවකු විසින් බලකරන්නාක් බඳු ඔහුගේ සිත තුළ විශාල පෙලැඹවීමක් ඇති විය.

දොස්තර රග්හොව් නිවසින් නික්ම ගියේ ය. ඔහු මහලු කාන්තාව සිටි පැරණි ගොඩනැගිල්ල වෙත පැමිණ ඇත්තේ එක් වතාවක් පමණක් විය. එහෙත් දෙවැනි වරටත් ඔහු ඒ ස්ථානය කිසිදු අපහසුතාවකින් තොරව සොයා ගැනීමට සමත් ව සිටියේ ය. අඩක් වැසී තිබුණු දොරටුව විවෘත කළ ඔහු අබලන් වූ තරප්පු පෙළ දිග ඉහළ මාලයට පිවිසුණේ ය. මහලු කාන්තාව ඇගේ කාමරය තුළ නොවූවා ය. ’ඕහ්... මයි ගොඩ්, ඈ මැරිලද?’ යම්කිසි තැතිගැන්මකින් හා මුසුව දුක්ඛදායී හැඟීමක් දොස්තර රග්හොව් සර්වාංගය සිසාරා පැතිර ගියේ ය.

’නෑ. ඒක වෙන්න බෑ මට ඇයට කළහැකි උපරිම ප්‍රතිකාරය කළා.’

දොස්තර රග්හොව් දැඩි කල්පනාවක නිමග්න විය. මේ අතර හදිසියේ ම ඔහුට යමකු ගේ පා ගැටෙන හඬක් ඇසෙන්නට විය. දොස්තර මහතා විමසිලිමත් විය. ඉතාමත් අපහසුවෙන් ඇවිදගෙන ආ මහලු කාන්තාව කාමරයට ඇතුළු වූවා ය. ඕ පෙරට වඩා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසු වූවාය. දොස්තර මහතා දුටු විගස ඇගේ දෑසින් කඳු‍්‍රළු කැට කඩා හැලෙන්නට විය.

’අම්මා, ඇයි ඔබ හඬන්නෙ? දැන් ඔබට ගොඩාක් සනීපයිනෙ’

ඕ හිස පහතට නැඹුරු කරගත්තී ය.

’ඇත්තටම අම්මා ඔබට ගොඩක් සනීපයි නේද?’ මහලු කාන්තාව හිස ඔසවා බැලුවා ය. ඕ දොස්තර මහතාගේ දෑස දෙස කෘතඥ පූර්වක හැඟීමකින් යුතු ව මොහොතක් බලා සිටියා ය.’

ඔව්, දොස්තර මහත්තයෝ... මගේ දෙයියෝ කොහොමද ඔබතුමා එදා දැනගත්තේ මම මරණ මංචකයෙයි කියලා.’

’ඒක පුදුම ප්‍රශ්නයක්නෙ? ඇයි ඔහේගෙ දුව? එයා තමයි මාව මෙහාට එක්කරගෙන ඇවිත්, ගිහින් ඇරලුවෙත්...’

’මගේ දුව? මහලු කාන්තාවගේ මුහුණට විශ්මය මුසු ගුප්තමය සිනාවක් නැගිණි.

’ඔබ කියන්නෙ මේ....’ මහලු කාන්තාව බිත්තියේ එල්ලා තිබුණු ඡායාරූපක් පෙන්වූවා ය.

ඔහෝ හැබෑවට ම මේ ඒ පුංචි කෙල්ල තමයි කෝ එයා.’

දොස්තර රග්හොව් පිංතූරයට පසෙකින් එල්ලා තිබුණු දූවිලි බැඳි අපවිත්‍ර ව ගිය කළු පැහැති කබාය දෙස ද බලමින් ඇසුවේ ය. එය දැරිය විසින් දොස්තර මහතා කැඳවා ගෙන යාමට ආ දිනයේ හැඳ සිටි කබායට සමාන එකක් විය.

මහලු කාන්තාව යළිත් කඳුළු සලන්නට පටන් ගත්තා ය.

’ඇයි අම්මා ඔබ අඬන්නෙ? මොකක්ද ප්‍රශ්නෙ?’ දොස්තර රග්හොව් වික්ෂිප්ත වෙමින් ඇසුවේ ය. ’දොස්තර මහත්තයෝ ඈ මීට ගොඩක් කාලෙකට කලින් ඇතිවුණ කොළරා වසංගතයට අහුවෙලා මැරුණා. ඔව් ඈ මාව තනි කරලා පරලොව ගියා.’

මහලු කාන්තාව කඳුළු සලමින් කීවාය.

’ඔව් මගේ දුව.... අයියෝ ඈ’ මහලු කාන්තාව වැළපෙන්නට වූවාය.

අසුරු සැණෙකින් ම දොස්තර රග්හොව්ට දැඩි ශීතලයත්, අන්ධකාරයත් සහිත එම රාත්‍රියේ තමා සොයා ආ පුංචි කෙල්ලගේ අහිංසක වත කමල සිහිපත් විය. ඇය විසින් තමා වෙත කරන ලද ආයාචනය සිහිපත් විය. දැරියත් සමඟ ඇගේ මව වෙත පැමිණි ආකාරය මතක් විය. දොස්තර රග්හොව්ගේ සියොලඟ ම ගල් ගැසුණාක් මෙනි. ඔහුගේ දෑස් යළිඳු ඡායාරූපය වෙතට එල්ල විණි. දැරිය ගේ ඡායාරූපය වටා දමා තිබුණු මල්මාලය එහෙම පිටින් ම වාගේ දුඹුරු පාට වී මලානික ව තිබුණේ ය.

දොස්තර රග්හොව්ට ඔහුගේ දෑස් තවදුරටත් ඡායාරූපය වෙතට යොමු කරගෙන සිටීමට නොහැකියාක් මෙනි. එහෙත් තම දෑස් ඉන් ඉවත් ව ගෙන යාමට තරම් ධෛර්යයක් ද ඔහුට නොතිබිණි.

කුඩා දැරිය ඔහු ඉදිරිපිට අවිහිංසක ලෙසත් සිනාසෙමින් සිටින්නී ය. ‘දොස්තර මහතාණෙනි ඔබට ගොඩක් ස්තුතියි’ යනුවෙන් දැරිය පවසන්නාක් මෙන් ඕ ඔහුදෙස බලා සිටින්නියැයි දොස්තර මහතාට සිතුණේ ය.

Arthur Arambepola

unread,
Apr 6, 2024, 9:06:45 PMApr 6
to ind...@googlegroups.com
රූප විපර්යාස

- මහාචාර්ය පියසීලි විජේමාන්න
.................................................................

ටොප් ........ කෙටි කතාවකි  !

සාධුු! සාධු!! සාධු!!!....


Nissanka Rajapaksa

unread,
Apr 7, 2024, 7:09:22 PMApr 7
to INDRAKA group
6
අල්ලස

එස්.එම්. ෆාරුක්

ට්‍රිං.... ටි‍්‍රං.... ට්‍රිං..... හඬ නඟමින් දුරකථනය නාද විය. දුරකථනය හඬ නඟත්ම මෙතෙක් කල්පනා ලොවක ගැලී සිටි විමල් පියවි තත්ත්වයට පත් විය. ඒ සමඟම මෙම දුරකථන පණිවිඩය ලැබෙන්නේ කාටදැයි විමසිලිමත් විය. දුරකථනය කනට තැබූ සෙබෙස්තියන් පිල්ලේ සී සී මහත්තයා හලෝ.... හලෝ.... යනුවෙන් හඬ නගා ආ මිස්ටර් ගෝනතිලකට කෝල් එකක් කියා බෙරිහන් දෙන විට ගිණුම් ගබඩාවේ කෙළවරක සිට ගුණතිලක මහතා දුවගෙනවිත් දුරකථනය අතට ගත්තේය.

සී සී සෙබෙස්තියන් පිල්ලේ මහතාට සමහරක් ලිපිකරු මහත්ම මහත්මීන්ගේ නම් කියා ගන්ඩ අමාරුයි. කතා කරන්නේ ඔවුන්ට හුරු ආකාරයකටයි. එය සමහරුන්ට විහිළුවක්, මිස්ටර් ගුණතිලකට නිතරම කතා කරන්නේ මිස්ටර් ගෝනතිලක කියලා. රම්‍යා මිසි ගිණුම් අංශයෙ සිටින රූමත්ම ළඳුන් අතරින් කැපී පෙනෙන කෙනා, රම්‍ය මිස්ට කතා කරන්නේ රම්මියා කියලා. රම්‍ය මිසීගේ කොණ්ඩය දනහිසින් පහළට එල්ලා වැටී තියෙන හැටි බලන්ටත් ලස්සනයි.

විමල් කොළඹ සර්වේයර් ජනරාල් කාර්යාලයේ හෙවත් මිනින්දෝරු දෙපාර්තමේන්තුවට පත්වීම ලබා පැමිණියේ 1979 වර්ෂයේය. බදුලු දිස්ත්‍රික්කයේ තරමක දුප්පත්ගමක ඉපිද ගමේ පාසලින් ඉතා දුක් මහන්සියෙන් ඉගෙනුම ලබා මධ්‍යම ලිපිකාර විභාගය සමත්ව සිය මුල්පත්වීම ස්ර්වේයර් ජනරාල් කාර්යාලයට ලැබී එහි සේවයට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 20 පමණි.

තමාට ලැබිය යුතු රැකියා අවස්ථා කීපයක් ගමේ එක්තරා දේශපාලන පක්‍ෂයක ශාඛා සභාපතිවරයකු විසින් දේශපාලන බලවතාට කියා කපා හරින ලද්දේ ඉතා නින්දිත ලෙසිනි. එක් අවස්ථාවක විමල්ට ලැබිය යුතු ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ලිපිකරු තනතුර ශාඛා සභාපතිවරයා ඔහුගේ මලයාට ලබා දුන්නේ විමල් වගේ පුද්ගලයකු දේශපාලන බලවතා අසළට රැගෙන ගොස් මෙම රැකියාව මට එපා සභාපතිගේ මල්ලිට දෙන්න කියා ඔහු ලවා කියවීමෙනි.

විමල් සර්වේයර් ජනරාල් කාර්යාලයේ ගිණුම් අංශයේ ඩී.එල්.එල්. අංශයට අනුයුක්ත කර තිබුණි. ඔහුගේ විෂයට අයත් වූයේ ක්‍ෂේත්‍ර කම්කරුවන් 200 කගේ පමණ වැටුප් සැකසීමයි.

ගිණුම් අංශයට පත්වීම් ලද විමල් මුලින්ම ගියේ ගණකාධිකාරි රාමසාමි මහතා වෙතයි. රාමසාමි මහතා ඉතා හොඳ ගුණ යහපත් කාරුණික පුද්ගලයකු විය.

”විමල් මහත්තයා මීට කලින් කොහේ හරි ජොබ් එකක් කරලා තියෙනවාද?”

”අනේ නෑ සර්...” මේ මගේ මුල්ම පත්වීම.

”හා හා හොඳයි”

”ගිණුම් කටයුතු පිළිබඳ පළපුරුද්දක් එහෙම තියෙනවද”

”අනේ නෑ සර්... මොකුත් දන්නේ නෑ..." 

"කමක් නෑ..., එකතු කරන්ඩ අඩු කරන්න වැඩිකරන්න පුළුවන්නේ”

”ඔව් සර්”

”අපි කව්රුත් මේවායේ රස්සාවට ආවේ අපේ රාජකාරි වැඩ ගැන දැනගෙන නොවෙයිනේ. වැඩ කරගෙන යන්න ඉබේම පුහුණුව ලැබෙයි. අනික ඔයාට ගැටලුවක් එහෙම තියෙනවා නම් මට කියන්ඩ. ලැජ්ජාවෙන්න එපා. පෞද්ගලිකව වුණත් කමක් නෑ කියන්ඩ උදව් ඕනි නම්. ගම කොහෙද වැලිමඩ, කොහේද බෝඩ්වෙලා ඉන්නේ?" 

"කිරුලපන පොලීසිය ළඟ ගෙදරක සර්" 

"හොඳයි එතන ඉඳන් ඔෆීස් එකට පයින් යන්ඩ එන්ඩ පුළුවන් එච්චර දුරක් නෑනේ, ළඟපාත තැනක බෝඩ්වෙලා ඉන්න එක කෝකටත් හොඳයි බස් ගාස්තුවත් ඉතුරුයිනේ.” 

"ඔව් සර්"

"ආ..... ඒක නොවෙයි ඔයාට පඩි හදන හැටි ඒ කියන්නේ පේෂිට් හදන හැටි මම කියලා දෙන්නම්. ඔය පරණ අයත් ඉන්නවා, එයාලත් කියලා දෙයි ශීලා මිසීයි, නෙවිල් මහත්තයයි ඔයාට හෙල්ප් කරයි. පේෂිට් බැලැන්ස් කරලා සමරිය හදන්ඩ මං ළඟට ගේන්ඩ මම සමරිය හදලා දෙන්නම්.”

"ආ.... තව වැදගත් දෙයක් ඔයාට කියන්ඩ ඕනි. ඔයාලා තවම රජයේ සේවයට ආධුනිකයෝනේ ඒ වගේම පාසලින් අස්වුණ ගමන් ආපු අයනේ. ඉතින් බාහිර සමාජය ගැනත් දැනගන්න ඕනි. සමහරු සිගරට් එකක් තේ එකක් දීලා ඔයාලා අල්ල ගන්න හදයි, අහු වෙන්න එපා."

"මොනම හේතුවක් නිසාවත් ඔයාලා ළඟට වැඩට ආපු කෙනෙකුගෙන් සිගරට් එකක්වත් බොන්ඩ එපා. ඔයාට සිගරට් එකක් බොන්ඩ අවශ්‍ය නම් මා ළඟට එන්ඩ මාත් සිගරට් බොනවනේ හැබැයි පිට අයගෙන් ගන්ඩ බෑ. අරක්කු එහෙම බොන්නේ නෑ නේද?”

”අනේ නෑ... සර් අරක්කු කටේවත් තියලා නෑ.”

”බොහොම හොඳයි සල්ලි මුදල්වල මදිපාඩුවක් එහෙම වුණොත් මට කියන්ඩ හැබැයි පගාවනම් ගන්නවා තියා හිතන්ඩවත් එපා. ඒක අන්තිම ජරාම ජරා වැඩක්, අපේ සමහරක් අතර ජරාව නැතුවම බැරි පිරිසකුත් ඉන්නවා. හැබැයි ඒ වගේ අය මම එකවුන්ට් බ්‍රාන්ච් එකේ වැඩිකල් තියා ගන්නේ නෑ, මාරු කර යවනවා. සමහරුන්ව කොච්චර කිව්වත් හදන්ඩ බෑ. ඔයාලා හරිම ළපටි අය ඔයාලා මට හදාගන්ඩ පුළුවන්. ඔයා බලන්ඩකෝ වේලිච්චි දර කෝටුවක් අරන් නමන්ඩ පුළුවන්ද. බාගෙට නමනකොට කැඩෙනවා. අමු ළපටි කෝටුවක් හොඳට නමන්ඩ පුළුවන්. ඒ වගේ තමයි ඔයාලයි පරණ අයයි අතර වෙනස”

”හොඳයි පුතා දැන් සීට් එකට යන්ඩ ගිහින් වැඩ පටන් ගන්න. ගුඩ් ලක්.”

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ගිණුම් ශාඛාවේ ලිපිකරු ලිපිකාරිණියන් 85 ක් විතර සේවය කරනවා. එහි විවිධ වූ අංශ 10 ක් විතර තියනවා. රාමසාමි මහතාට අමතරව තව ගණකාධිකාරිවරයකුත් හිටියා. එයාගේ නම ඒකනායක. හැබැයි ප්‍රධාන ගණකාධිකාරි ළඟට යන්ඩ බය හිතෙනවා. පයිප්පේ කටේ ගහගෙන සීට් එකේ ඉන්න මහේශාඛ්‍යලීලාව දකින්ඩත් බයයි. නම ප්‍රනාන්දු ටිකක් සැර පාටයි. උවමනාවක් වුණොත් මිස නැතිනම් කා එක්කවත් වැඩි කතා බහක් නෑ.

වසරක් පමණ ගතවනවිට විමල් පේෂීට් වැඩ ටික අල්ලගත්තා විතරක් නොවෙයි ඇරියස් හදන්නත් ඉගෙන ගත්තා. ඔන්න ඔය අතරතුර විමල් හමුවට පැමිණියා පියදාස කියන මිණුම්කරුවා.

”සර් මගේ පොඩි වැඩක් තියෙනවා කරලා දෙනවාද?”

”මොකක්ද ඔය වැඩේ?”

”අනේ සර්... මම අන්ස්කිල් සෙමීස්කිල්වලට දාලා අවුරුදු 07 ක් විතර වෙනවා. තවම ඇරියස් එක මට ලැබුණේ නෑ.”

”මොනවා ඇයි මෙච්චර කල් බලන් හිටියේ?”

”අනේ සර් මගේ ලියුම මට හම්බවුණේ නෑනේ” පස්සේ දවසක මට සෙමිස්කිල් හම්බවුණේ නෑ කියලා ලේබර් බ්‍රාන්ච් එකේ හසන් මහත්තයාගෙන් ඇහුවා එයා කීවා සේවීස්කිල්වලට දාලා අවුරුදු හතක් වෙනවා ඇයි දන්නේ නැතිද කියා පස්සේ හසන් මහත්තයා ලියුමේ පිටපතක් දුන්නා මේ තියෙන්නේ ඒක.”

”හැබෑ නේන්නම් ඇරියස් එකක් තියෙවි.”

”ලොකු උදව්වක් සර්... ඇරියස් එක දාලා දෙන්ඩ” අපෝ මතක් කරන්ඩ එපා මේ දවස්වල වැඩ වැඩියි. අවුරුදු මාසේ නිසා කලින්ම පඩි ගෙවන්ඩ ඕනි. ඒ නිසා මේ දවස්වල හරියට වැඩ. අමතරව වැඩ මොකුත් කරන්ඩ එපා පඩි හදන වැඩ විතරක් කරන්ඩ කියලා එකවුන්ට් මහත්තයා උපදෙස් දීලා තියෙන්නේ.”

”අනේ සර් එහෙම කියන්න එපා”

”මට ලොකු කරදරයක් වෙලා පසුගිය දවස්වල හුළඟට ගෙදර වහල ගැලවුණා. මේ ඇරියස් එකෙන් හරි ඒක හදාගන්ඩ ඕනි අවුරුද්දට කලින්. සර්ටත් මම උදව්වක් කරන්නම්.”

”මගේ ඇරියස් එක අවුරුදු පඩියට දාලා දෙන්ඩකෝ.”

”බෑ... බෑ.... මට කරදර කරන්ඩ එපා පස්සේ බලමු.”

මේ වගේ පියදාස කීපවතාවක් ඇවිත් විමල්ට කරදර කරන්ඩ පටන් ගත්තා. බැරිම තැන විමල් සෙනසුරාදා ඉරිදා දවස්වල ඔෆීස් ඇවිත් පියදාසගේ ඇරියස් එක හැදුවා. විමල්ගේ අංශයේ ජ්‍යෙෂ්ඨ ලිපිකරුවකු වන පියල් අයියා ලවා ඇරියස් එක වෙන්කර ගත්තා.

”යකෝ උඹ මහ වැඩ කාරයෙක් වුණා එහෙ නම් නියමෙට ඇරියස් එක හදලා. ලොකු ගණනක ඇරියස් එකක් තියෙනවා ඌ උඹට මොනවා හරි සපෝට් එකක් කළේ නැද්ද?”

”උඹට අඩියක් අරන් දෙන්ඩ කියාපන්”

”අනේ පියල් අයියේ මම ඔය ජරාව බොන්නේ නෑනේ”

”උඹට බැරිනම් උඹ කුදගහගනින් මම නම් දෙන දෙයක් ගන්නවා.”

අද ගෙදරින් විමල්ට ලියුමක් ලැබුණා. ඇයි පුතේ මාස දෙකකින් ගෙදර ආවේ නැත්තේ? අම්මා එහෙම ලියලා තිබුණා. මා අතේ සල්ලිත් නෑ. පඩිය බෝඩිමට දීලා ණය ටික දුන්නම අතේ සතේ නෑ. විමල්ගේ මාසික පඩිය රු. 250/= යි බෝඩිම් ගාස්තුව රු. 150/= යි. ඉතිරි ටික වියදම් වෙනවා දන්නේ නැතුව මේ මාසයේ කොහොම හරි ගෙදර යන්ඩ ඕනි. ගෙදරට යවන රු. 50 කොහොමවත් මදි ඇති. අවුරුද්දට ගෙදර අයට ඇඳුම් ගන්ඩත් ඕනි. රාමසාමි මහත්තයා කීවා කවුරුත් දෙන දේවල් ගන්ඩ එපා කියලා. ඒ වුණාට පියල් අයියා කියනවා දෙන දෙයක් ගනින් කියලා. පර්ස් එකත් හිස්. විමල් රාමසාමි මහතා හා පියල් අතර දෝලනය වුණා. අවසානයේ පර්ස් එකේ බලපෑමෙන් විමල් පියල්ගේ පැත්තට හැරුණා. පියදාස ඔෆීස් ආවා පහුවදා උදේම.

”ගුඩ් මෝනින් සර්...... ආ..... ගුඩ් මෝනින්”

”මට පියල් මහත්තයා කිව්වා විස්තරේ. එපා නොකියා මේක ගන්න. අන්තිමට මටත් මොකක්ද වගේ. සර් මහන්සි උණේ. ඒ උණත් පැත්තක හිටපු කට්ටය මගෙන් බීවා. සර්ට මොකුත්ම නෑ. ඒ නිසා එපා නොකියා මේක ගන්ඩ කියලා ලියුම් කවරයක් මේසේ උඩ තිබ්බා. ඒක දැකපු ගමන් බෝම්බයක් දැක්කා වගේ විමල්ට හීන් දාඩිය දැම්මා වට පිට බැලුවා.... රාමසමි මහත්තයාගේ කාමරේ දිහා හොරෙන් බැලුවා.

"හා...... හා...... ඕක මේසේ උඩ තියන්න එපා ගන්නවා පැත්තකට" කියා විමල් කීවා. බ්‍රාන්ච් එකේ එහා කෙළවරේ ඉන්න සමරේ හරි ජෝක් කාරයා.

”අයිසේ පියදාස තමුසේ විමල් මහත්තයා ළඟට වෙලා උදේ ඉඳන් කුටු කුටු ගාන්නේ කපුකමක්වත් කරනවද?" කියලා ඇහුවා. දැන් පියදාස තක්බීර්වෙලා. විමලුත් එහෙමයි. විමල් පියදාසට රහසින් කීවා "පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්ඩ" කියලා. 

පියදාස විමල්ට රහසින් කිව්වා ”අපි කැන්ටිමට යමු කියලා.”

එතකොට වෙලාව උදේ 11 ට විතර ඇති. දෙන්නා කැන්ටිමට ගිහින් ප්ලේන්ටී දෙකක් අරන් මේසේ වාඩිවුණා. ඔන්න එතනට තව කරුමයක් කඩා පහත් වුණා. යූනියන් ධර්මේ. ඒ කියන්නේ් රජයේ මානක කම්කරු සංගමයේ ධර්මේ. ඔන්න මිනිහා වැල්වටාරන් කිය කිය ඉඳලා ගියා. ඒත් එක්කම එතනට ජයසිංහ පියන් ආවා. ඇවිත් කීවා විමල්ට කෝල් එකක් කියලා. විමල් දඩබඩ ගාලා ප්ලේන්ටි එක බීලා බ්‍රාන්ච් එකට දිව්වා. කෝල් එක ඩී.එස්.ජී. බේරුගොඩ මහත්තයාගෙන්. එයා හමුවන්ඩ කියලා විමල් බයේ බයේ එතනට ගියා. ඇන්ලොප් එක මේසේ උඩ තියනවා කවුරු හරි ඩී.එස්.ජී. මහත්තයට කියලද කියා බයෙන් බයෙන් විමල් ඩී.එස්.ජී. බේරුගොඩ මහත්තයාගේ කාමරයට ගියා. (ඩී.එස්.ජී. මහත්තයා කියන්නේ නියෝජ්‍ය මැනුම්පතිතුමාටයි)

”ඔයාද විමල් කියන්නේ?" 

"ඔව් සර්......"

”ආ වාඩි වෙන්න.”

"ඔයා නේද ඔෆීස් එකේ ලේබර්ස්ලාගේ පඩි හදන්නේ?" 

"ඔව් සර්....."

"කීදෙනෙකුගේ විතර පඩි හදනවද?" 

"200 ක විතර හදනවා."

 "දැන් අපේ‍්‍රල් මාසේ පඩි හැදුවද?"

 "හදාගෙන යනවා සර්....."

 "කලින් මගේ කෑම්ප් ලේබර් හැටියට වැඩ කරපු පියදාසගේ ඇරියස් එක.... (බේරුගොඩ මහතා එය කියනවාත් සමඟ විමල්ගේ උගුර කට වියළී ගියා) හදලා දෙන්ඩ පුළුවන්ද? මිනිහට පොඩි කරදරයක් වෙලා දැන් කියලා මාසයක් විතර වෙනවා අදයි මට මතක් වුණේ."

”ඔව් සර් අප්‍රේල් පඩියට දැම්මා.”

”ආ..... එහෙමද එහෙනම් හොඳයි. බොහෝම ස්තූතියි දැන් යන්ඩ.”

විමල් ඩී.එස්.ජී. මහතාගේ කාමරේට ගියේ බයෙන් බයෙන් එළියට ආවේ ටිකක් සතුටින්. ඔන්න ආයෙත් පියදාස විමල්ගේ මේසේ ළඟට ආවා. "ඩී.එස්.ජී. මහත්තයාටත් මේක කීවද?"

 "ඔව් සර් දැන් මාසයකට විතර ඉස්සෙල්ලා කීවා, සර් බෑ කියපු වේලාවේ."

"අපි ලන්ච්වලට ගිහින් මොනවා හරි කරමු."

 "අනේ මම බොන්නේ නෑනේ"

 "සර්රුත් මාර බඩුවක් මොනවත් ගත්තේත් නෑ. බොන්ඩ එන්නෙත් නෑ. මට යන්ඩත් නෑ. මම අද මාතලේ යන්ඩත් ඕනි."

 "හදිසි නැතුව ඉන්නවකෝ. මෙච්චර කට්ටිය බලා ඉද්දී කොහොමද මම ඕක ගන්නේ?"

 "සර්ට තමයි බැරි. අනිත් අය බලෙන් උදුරා ගන්නවා. ඔයා දෙන එකක්වත් ගන්නේ නෑ."

"හා අපි ලැට් එකට යමු" කියා විමල් හා පියදාස වැසිකිළියට ගොස් මුත්‍රා කරන අයුරින් පියදාස අර ලියුම් කවරය විමල්ගේ සාක්කුවට දාන්ඩ හදන විට වික්ටරුත් එතැනට ආවා. එදා සවස වැඩ ඇරී පාරට බසින තුරුත් පියදාසට මෙම ලිපි කවරය විමල්ට දී ගන්ඩ බැරි වුණා. අන්තිමට පාරට ඇවිත් නාරාහේන්පිට හන්දියට ගොස් බොරැල්ල බසයට ගොඩ වී දෙදෙනාම පිටුපස ආසනයට ගොස් පියදාස එම ලිපි කවරය බිම දමා බසයෙන් බැස ගිය අතර විමල් ටිකක් දුර ගොස් ලිපි කවරය සාක්කුවට දමා ගත්තේ බෝම්බයක් දමාගත් අයුරිනි.

විමල්ගේ පපුව ගිඩි ගිඩි ගාලා ගැහෙන්ඩ පටන් ගත්තා. එය සාක්කුවට දමා විටින් විට සාක්කුව අතගා බැලූ විමල් කවරයේ ඇති මුදල් සිතින් ගණන් කළේය. 'රුපියල් පනහක් වෙන්ඩ බෑ. අද පියදාස වෙච්ච මහන්සියේ හැටියට රුපියල් සීයක් වෙන්ඩ ඇති. අම්මාට හැට්ට රෙද්දක් තාත්තාට සරමක් නංගීට ගවුමක් ගන්ඩ ඕනා. මෙදා අවුරුද්දට ඇඳුම් පැළඳුම් ගෙනාවා කියා අම්මායි තාත්තායි නංගීයි සතුටු වෙයි.' කියා හිත හිතා බෝඩිමට ගියා. ඒ වන විට බෝඩිමේ සෙසු සාමාජිකයන් කවුරුවත් ඇවිත් නෑ. මේක හොඳ අවස්ථාවක් කියා සිතූ විමල් වෙව්ලන දෑතින් ලිපි කවරය විවෘත කරා.

අනේ අපොයි..........

එහි තිබුණෙත් රුපියල් විස්සකි. මෙය දුටු ගමන් විමල්ට යක්‍ෂාරූඪ වුණා. පියදාස ළඟ හිටියා නම් මේකෙන් දමා ගසනවා මුහුණට. අද දවස තිස්සේ මේකා මගේ ඇඟේ ලේ පුච්චා පුච්චා වීර්ය කළේ මේ රුපියල් විස්ස දෙන්න ද? අනේ මං වගේ මහා මෝඩයෙක්. මින්පසු මගේ ජීවිතයට අල්ලසක් කියලා කිසිම දෙයක් කිසිමදාක ගන්නේ නෑ කියලා විමල් අධිෂ්ඨාන කළා. රාජ්‍ය සේවයේ සිටින තාක්කල් විමල් ගත් මුල්ම හා අවසාන අල්ලස එය විය.

https://archives.silumina.lk/punkalasa/20100822/_art.asp?fn=ar1008223

Nissanka Rajapaksa

unread,
Apr 8, 2024, 7:08:01 PMApr 8
to INDRAKA group
7
වසන්තිගේ ලෝකය

උපාලි කොළඹගේ

වැහි බීරම තුනී වේගෙන යනව. රත්වෙච්ච පොළවට වැස්ස වැටිල නැවුම් සුවඳක්, ගතට සිසිලක්... හිතට සතුටක්... හැබැයි වසන්ති රත්නායක ‘මැඩම්’ ට නං මේක පුංචි වෙනසකුත් එක්ක අලුත් දවසක් විතරයි. වෙනද නම් මේ වෙලාවට පිට්ටනිය ළමයින්ගෙන් පිරිල. ඒත් අද කවුරුත් නෑ. වැස්සෙම ළමයිනුයි ගුරුවරුයි ගෙවල්වලට ගිහිල්ල.

මැඩම් නිල කාමරයට වෙලා බර කල්පනාවක. කැඳවීමේ සීනුව නාද නොකර ම ආලින්දය පැත්තට ගිය ඇය ජිනදාසට කතා කළා. ජිනදාස ඉස්කෝලෙ ඉන්න පරණම පියන්. සමහර වෙලාවට මිනිහ පි‍්‍රන්සිපල්ට ඉහළයි. හැබැයි අලුත් ගුරුවරු නං මිනිහව තඹේකට මායිං කරන්නෙ නෑ. ඉස්සරහ කඩේට ගිහිං තේකක් අරන් එන්නැයි කියූ මැඩම් ආපහු යන්න හැරුණා. ජිනදාසට මතක හැටියට ඉස්කෝලෙ ඇරුණයින් පස්සේ තේකක් ගේන්න කියපු පළවෙනි දවස. සල්ලි දුන්නෙත් නෑ. අමතක වෙලාද කොහෙද. මොකද කවදාවත් නැතුව අද මැඩම්ගෙ වයර් මාරු වෙලාවත්දැයි සිතූ ජිනදාස පොදේ ම පාරට බැස්ස.

ජිනදාස ආපහු හැරුණෙ මැඩම් ගෙ අප්පුඩි සද්දෙට. “ජිනදාස මට පොඩි බාම් එකකුත් ගේන්න” කියාල ජිනදාස අතට සල්ලි දුන්නු ඇය “ මගෙ ඔළුව හොඳට ම කකියනවා” යැයි කියමින්ම ආපහු යන්න හැරුණ. වෙනද රැස්පොට් එකනං නෑ. 'ඒත් කකියන්න ඔළුවක් තියෙන්න එපායැ. ඔළුවක් තියෙනවනං නාකි මාව මේ වැස්සෙ කඩේ අරින වැයි...' හිතමින්ම ජිනදාස පය ඉක්මන් කළා.

වහා නිල කාමරයට ගිය මැඩම් දඩාස් ගාල දොර වහගෙනම පුටුවෙ වාඩි වෙලා ඔළුව මේසෙ ගහගත්ත.

දෙගොඩ හරි වයසත් පහු කරමින් උන්නු වසන්ති රත්නායක මහත්මිය කලාපයේ නමක් දිනා සිටි විදුහල්පතිනියක්. ඇය අධ්‍යාපන ලොක්කන් තියා මන්ත්‍රී ගොල්ලවත් පයිසෙකට ගණන් ගත්තෙ නෑ. වැඩ කෙළින් හැබැයි ආඩම්බරකාරී. මහත්තය දොස්තර හින්ද වෙන්න පුළුවන්. සහතික පැත්තෙනුත් ඇය හැමෝට ම වඩා ඉස්සරහිං. දැන් මීක් සද්දයක් නැතුවට කැම්පස් එකේදි ඇය හරි පෙරළිකාරි. වම් ඉවුරෙ තමයි හිටියෙ. කීප සැරයක් පන්ති තහනමටත් ලක්වුණා. හැබැයි කැම්පස් එකෙන් පිට උණේ අනික් හැමෝම වගේ දේශපාලන උණ නිට්ටාවටම සුවකරගෙන. හරියට ගැරඬිය හැව අරිනව වගේ රැඩිකල් පොලිටික්ස් කැම්පස් ගේට්ටුව ළඟ තියාල.

මේසෙ ඔළුව ගහගත්තු වසන්ති හිත හෑල්ලු කර ගන්න කොච්චර හැදුවත් බැරි උණා. ඊයෙයි පෙරේදයි ඇගෙ හිතට පොඩි බරක්. පෙරේද පාසලේ දෙමවුපියන්ගෙ දවස. හෝල් එක පිරෙන්ඩ ම අම්මල තාත්තල ඇවිල්ල හිටිය. ඔය අතර තිබිච්ච මූණක් තමයි ඇයට මේ ගැස්ම ඇති කළේ. අවුරුදු විසිපහකට විතර ඉස්සර නම් ඒ මූණ හොඳට හුරුයි. දකිනකම් ඉස්පාසුවක් නෑ. දැන්නං එහෙම මොකුත් නෑ. නැත්තෙමත් නෑ කියලා එදා හිතුණා.

ඔහු කීප සැරයක් වසන්ති එක්ක හිනා වෙන්න හැදුවත් ඇය ඕනකමින් ම මඟෑරිය. පස්සෙ ඇයට ඔහුගෙ මූණ බැලුනෙ ඉබේට ම. හිනාව නං පොඩ්ඩක්වත් වෙනස්වෙලා නෑ. හිරිමල් වයසෙදි ඇගේ හිත කීද්දුවෙත් ඔහුගෙ මේ හිත් ඇදගන්න සිනහවයි. කොහොම වුණත් ඇය කළේ මන්දස්මිතියෙන් අහක බලා ගැනීම පමණයි. දොරට ගහන සද්දෙට ඇගේ සිතිවිලි භාවනාව මදකට කැඩුණා. වහා ගොස් දොර විවර කර ජිනදාස අතේවූ තේක හා බාම් එක මේසය මත තබන ලෙස අතින් සන්කළා. ඉතුරු සල්ලි ජිනදාසටම දුන් ඇය වහා ගොස් යළි වාඩි වුණා. ඇස්වල බාම් දෑතින්ම පිසදාගත් ඇය බාම් තලියක්ම නළලෙ ගා ගත්ත. හිතේ අවුල පිටට වසන් කරන්න එහෙම කළා මිසක් හිසේ ඇම්මක් අහලකවත් තිබුණෙ නෑ.

දෙමාපිය දිනය ඉවර උණේ ගිනි දවල්. ඉස්කෝලෙ වහන වෙලාවත් පහුවෙලා. ඒත් හැම අම්මටම තාත්තටම ඕනෙකම තිබ්බ පි‍්‍රන්සිපල් මැඩම් එක්ක වචනයක් දෙකක් කතා කරන්න. දුවා දරුවන්ගෙ අගමුල තෝර බේරගන්න කොයි කවුරුත් කැමතියි නෙ... ඒ ගමන්ම වසන්ති දැක්ක අර මූණ ටික ටික තමන්ගෙ දිහාවට ඇදෙනව. වසන්ති නොදැක්ක ගානටම හිටිය. ගෑනිගෙ හිත හයියයි.

.... ඔහු නිශාන්ත වසන්ති ළඟටම ඇවිත්. කොච්චර තදකරන් හිටියත් මූණ නොබල ඉන්න පුළුවනෑ... “ආ නිශාන්ත ඔයාගෙ ළමයි මේ ඉස්කෝලෙද?” හරියට නානකොට 'නානවද?' කියල අහනව වගේ තමයි. ඒත් ඈ ඇහුව. “ඔව්” කියමින්ම නිශාන්ත තවත් මොන මොනවද කියන්න හැදුව. වසන්ති හදිස්සියෙ යමක් මතක් වුණා වගේ පෙන්නල එතනින් මාරු වුණා. නිශාන්ත හොඳටම වයසට ගිහිල්ල. ඇඟත් දිරච්ච පාටයි. ඒ වුණාට නිශාන්තගෙ ඒ දවස්වල තිබිච්ච ඇස් දෙකයි ලස්සන හිනාවයි ඒ වගේමයි. ඩිංගකට කලින් එහෙම හිතුණත් වසන්ති හිත වෙන පාරක යවන්න හැම උත්සාහයක්ම ගත්ත.

තමන්ට දැන් පනහත් පැනල. හොඳ පවුල් ජීවිතයක් ගත් කරන්නෙ. දාස් ගණන් දරුවන්ගෙ නෙත් පාදන ගුරුමවක්.... මේ අනං මනං හිතන වයසක්ද? ලජ්ජාවකුයි කලකිරිමකුයි ඇති වුණා. නෑ එහෙම හිතන්ඩ මොන වරදක්වත් උණේ නෑ. හිත හදා ගත්තත් කවදාවත් නැති විදියෙ දිග හුස්මක් නං පිට වුණා. සැමියා රාජකාරියෙන් පොඩි ඉඩක් ලැබුණ හැටියෙම තමාව ගෙදර ඇරලීමට එන බව දන්නා ඇය ඊට සූදානම් වෙන්න පටන් ගත්තා. කණ්ණාඩියෙන් මූණ බැලුවෙ පොඩි පහේ හෝ වෙනසක් ඇත්දැයි ඇයටම සැක සිතුණ නිසා. කොහොම උණත් වෙනදාට වඩා තමා තරුණ වී ඇතැයි ඇයටම හිතුණා. මේ ඒ දවස්වල ගුරුපාර දිගේ ඔට්ටුවට දහම් පාසල් දිව්ව වසානේද? මේච්චල් නැති හිත යළිත් කොකර වටං කරන්න පටන් ගත්තා.

වසන්තිට නිශාන්තව මුණ ගැසෙන කොට ඇයට යන්තම් අවුරුදු 13 යි. දෙගොල්ල හිටියෙ ළඟ ළඟ ගෙවල්වල. හැඟීම් ඇති වෙන්න පටන් ගන්න කොට වයස අවුරුදු 16 ක් විතර ඇති. එතකොට නිශාන්තට 22 ක් වත් වෙන්න ඕනෙ. ඇගේ ප්‍රථම ප්‍රේමය ඔහු සමඟය. වසන්ති දුරදිග හිතුවෙත් නෑ. ඇය ඔහුට ඇදී ගියේ ඔහුගේ සුන්දරකමට විතරක් නොවෙයි. ඔහු සතුව තිබුණු අපූරු ගතිගුණවලට.

තමා දැන් සිටින තත්ත්වය අනුව ළාබාල වියේ පෙමක් ගැන මෙසේ ආවර්ජනය කිරීම නොගැළපෙන බව ඇයට සිතුණත් දෝරෙගලන සිතිවිලි දහර නතර කිරීමට ඇයට පුළුවන් වූයේ නෑ.

වහා ජනේය වෙත ගිය ඇය සැමියා එත්දැයි විපරම් කරන්නට වුණා. අද ඉස්පිරිතාලෙ හුඟක් වැඩ තියෙන දවසක් වෙන්න ඇති. සමහර දවස්වල රෑටත් ඇයට මෙලෙස සැමියා එනතුරු බලාසිටීමට සිදුවූ බව සිහිපත් වුණා. බැන්ද අලුත දොස්තර සැමියා ගේ පමාව කායික අසහනයක් දක්වා වර්ධනය වූ අයුරු ඇයට මතක් වුණා.

හොඳටම පායල. පාර අයිනේ රූස්ස ගස් අස්සෙන් දුර කඳුයායේ මුදුන් වැහි බර වලාකුළු හා ගැටෙනු පෙනේ. ඒත් පාසල් පිට්ටනිය තවම හිස්. දම්වැල කඩාගත් බලු නට්ටකු පිට්ටනිය පුරාවට ඒ මේ අත දුවනව.

.... නිශාන්ත සා පෙළවත් සමත් වූයේ නෑ. ඔහුගේ මුල්ම රැකියාව වුණේ පොඩි කඩේක වැඩ කිරීම. වසන්ති සමඟ පැවති සම්බන්ධය හෙළිවීමත් සමඟ නිශාන්තලාගේ පවුලට ප්‍රදේශය හැර යෑමට වැඩ සැලැස්වූයේ වසන්තිලාගේ පවුලේ අයයි. වසන්තිගේ ලොකු අයියා ප්‍රසිද්ධියේම නිශාන්තට කම්මුල් පහරක් ගැසූ දිනය අදටත් ඇයට අමතක නෑ.

කෙසේ වුවත් නිශාන්ත කුමාරයකු ලෙස අදටත් ඇයට පේන්නෑ. එහෙත් ඔහු සම්පූර්ණයෙන්ම මකා දැමීමද කළ නොහැකියි. .... ඒ ඇය ගේ ප්‍රථම ප්‍රේමය නිසා ද? ප්‍රථම ප්‍රේමය... ඒ මොන බොරු කතාවක් ද? හිරිමල් වියේ ඇති වෙච්ච සම්බන්ධයක් මුළු ජීවිතේටම බලපාන්නෙ කොහොමද? නෑ ඒක යථාර්ථයක්. බාල කාලෙ හිත් පිරිසිදුයි. යාළුවෙන්නෙත් අනාගතේ ගැන හිතල නෙමෙයි. සැලසුම් මොකුත් නෑ.

ඇය මෙසේ සිතුවා.

වසන්ති පාසල් වියේ පෙම් සබඳතා ගැන කිසිවක් සැමියාට කියා නෑ. ඒ කිසිවක් නිසා නොව ඔහුට ඒවායින් කිසි වැදගැම්මක් නැති නිසා. වසන්ති කැම්පස් යනකොට නිශාන්තලා ගමෙනුත් ගිහින්. කැම්පස් එකේදි ඇයට ඔහුව මතක් උණේ නැති තරම්. ඔහු හා සම්බන්ධය බිඳීයෑම ගැන අද තබා එදාවත් ඇය දුක් උණේ නෑ. ඒත් හදිස්සියෙ දැක්කම පොඩ්ඩක්වත් හිත ගැස්සුණේ නෑ කිව්වොත් ඒක බොරුවක්. ඕනෑම අයකුට ප්‍රේමය සම්බන්ධයෙන් අතීත අත්දැකීම් කොච්චර කටුක වුණත් ඒවා අනාගතයේදී සුන්දරයි. ජීවිතය සුන්දරයි කියන්නෙත් මේ ධර්මතාව නිසා විය යුතුය.

සිංහල ගෞරව උපාධිය හදාරද්දී කරුණාසේන ජයලත්ගේ පොත්පත් කථිකාචාර්යවරුන්ගේ නිර්දය විවේචනයට ලක්වූවා ඇයට මතකය. පේරාදෙණි ඇදුරන් “ගොළු හදවත” ගණන් ගත්තේම නැත.

ඔහු හා පෙමින් බැඳී සිටියදී දහම් පාසලේ ළමයි ඇයට සාන්ත දාන්ත තීන්ත කූඩුව යැයි නිශාන්තගේ නමේ කොටසක් ද ඈඳාගෙන විහිළු කළ යුගය ඇයට මතක් විය. ඇය ප්‍රථම වරට පෙම්වතකු සමඟ චිත්‍රපටයක් බැලිමට ගියේ ද නිශාන්ත සමඟය. එහෙත් ඇය බයටම සිනමාහලේදී ක්ලාන්ත වී ආපසු හැරී ආ අයුරු ඇයට සිහිපත් වුණා.

කෙසේ වුණත් ඇගේ ජීවිතයේ ප්‍රධාන තම කඩ ඉම වූයේ ලොකු අයියාගේ යාළුවකු වූ සේකර අයියායි. සේකර අයියා ලොකු අයියාගේ ගුරුවරයකුද වෙයි. ඇගේ ජීවිතය දල්වා ලූ පුද්ගලයා ද සේකර අයියාය. සේකර අයියා බොහෝ පතපොත් කියවූ අත්දැකීම් බහුල පුද්ගලයෙකි. ඔහු ඇයට වඩා වසර විසිගණනකින් වැඩිමල්ය. ඉතා බාල අවදියේ සිට සේකර අයියා වසන්ති ගැන බලාපොරොත්තු තබා සිටි බව ඇයට රහසක් වූයේ නෑ. එහෙත් ඇය තුළ වූයේ ඔහු කෙරේ ගෞරවයක් මිස ආදරයක් නොවේ.

නව යොවුන් වියේ රත්වූ ඇඟට ඔහුගෙන් සිසිලක් බලාපොරොත්තු වූයේ නෑ. තැන තැන ඉදුණු හිසකේ සහිත සේකරගේ අටපට්ටමක හැඩය ගත් පාණ්ඩු පාට ගැහැනු මූණ ඇය කෙරේ පිළිකුලක් ඇති කළා මිස ඇය කිසිදින ඔහුට ආකර්ෂණය වූයේ නෑ. ආදරය කළෙත් නෑ. එහෙත් ඔහු සමඟ සමීප මිත්‍රත්වයක් පවත්වා ගැනීමට ඇය ද ආශා කළා. ඔහු ඉදිරියේ ඇය මිරිඟුවක් විය. එහෙත් තමා ඔහු රැවැට්ටූ තරමට ඔහු රැවටුණාදැයි යන්න අදටත් ඇයට ප්‍රහේලිකාවකි.

එහෙත් සේකරගේ මරණය දැනගත් දිනයේ ඇය මී දෙනක ලෙස ඇඬුවා. සේකර අයියා තමාට කෙතරම් ආදරය කළේද යන්න ඇයට අවබෝධ වූයේ ඔහුගේ මරණයෙන් පසුවයි. සේකර මළේද දියවැඩියා රෝගය උත්සන්න වී කකුලක් කපා දැමීමෙන් අනතුරුවය. තැන්පත් පුද්ගලයකු වූ දොස්තර අජිත් රත්නායක තමාට කැමති වූයේ මන්දැයි ඈ තවම නොදනී. සැමියකු වශයෙන් හෙතෙම සිය යුතුකම් කොටස මනාව ඉටුකරයි. දරු දෙදෙනාට ඔහු හොඳ පියෙකි. එහෙත් පැතලි චරිතයක් ඇති අජිත් ගැන වෙන කිවයුත්තක් නැත.

හදිසියේම වාහන හෝන් හඬින් ඇගේ සිතිවිලි දැහැන යළි බිඳුණා. ඇය පහත මාලයට දිවගියේ ඇසිල්ලෙනි. හැන්දෑජාමයේ කැදැල්ල කරා පියඹන කිරිල්ලක ලෙස සතුටිනි. තමාට කල්පනා ලෝකයේ තනි වීමට ඉඩ නොහැරීම ගැන ඇය බෙහෙවින් ප්‍රමෝදයට පත්ව සිටියා.

ඇය වාහනයට ගොඩවූයේ ද වෙනදා නැති ළෙන්ගතුකමිනි. අජිත් කොහොමත් දොඩමළු පුද්ගලයකු නොවේ. ඔහු කතා කළේ සිය ගෘහ ජීවිතයට අවශ්‍ය ප්‍රමාණයට පමණි. ඇසුරු කළේ ද අවශ්‍යයැයි හැඟෙන අය පමණය. සති අන්ත පත්තරයක් උඩින් පල්ලෙන් බලනවා හැරෙන්න ඔහු කියවන්නේ ද සිය වෛද්‍ය වෘත්තියට අදාළ පොත්පත් පමණි.

වසන්ති ඊට හාත්පසින් වෙනස්. දෙදෙනා අතර ඇති පරස්පරයද එයයි. යා දෙක නොරත රත යැයි ඇයට සිතුණ වාර බොහෝය.

කාරයේ ඉදිරි අසුනේ හිඳ ගත් ඇය වෙනදා නැති තරමට දොඩමළු වුණා. අජිත්ගේ දෙමාපියන් බැලීමට යෑමේ අවශ්‍යතාව ගැනද පුන පුනා සඳහන් කළා. මනසින් හෝ වරදෙහි බැඳුණු අයකු තම සහකරුට හෝ සහකාරියට වෙනදා නැති ඇඟෑලුම්කම් පාන බව ඇය ඉවෙන් මෙන් දන්නා ප්‍රචලිත කරුණකි.

නිශාන්ත පිළිබඳව සැමියාට කියන්න හිතුණත් ඊට දිරියක් තිබුණෙ නෑ. එමෙන්ම සැමියකු තුළ පවත්නා බලවත්ම භීතිය බිරියගේ කලින් පෙම්වතකු ඇයට හදිසියේ හමුවීම හා ඔහු ඇසුරු කිරීමේ ඉඩහසර විවර වීම බව සේකර අයියා තමා සමඟ දිනක පැවසූ බව ඇයට මතක් වුණා. කෙසේ වෙතත් ඇය එදින අජිත් හා දරුවන් සමඟ හෘදයාංගම ඇසුරක් පවත්වා ගැනීමට සමත් වුණා. පසුදින ඇය පාසල් ගොස් කාර්යාලයේ වැඩ ආරම්භ කළ ගමන්ම ජිනදාස දොර ළඟ සිටිනු දැක උපැස් යුවළ නොගලවාම “ඇයි ජිනදාස?” යනුවෙන් ඇසුවා. 

“මැඩම් හම්බවෙන්න කවුද උදේ ඉඳන්ම ඇවිත් ඉන්නවා.” 

“ඇයි දෙවෙනි මැඩම් නැද්ද?” 

“ඒ මහත්තයා මැඩම්වම හම්බවෙන්න ඕන කියනව.” 

“නමක් නැද්ද? මොකක්ද නම කිව්වෙ.?” ඇය නුරුස්නා ලෙස ඇහුවා.

”නිශාන්ත කියල කිව්ව. එහෙම කිව්වම මැඩම් දන්නව කිව්ව.”

”ගිහිං කියන්න දෙවෙනි මැඩම් හම්බ වෙන්න කියල. මාව හම්බවෙන්න බෑ කියන්න.”

ඇය කිසිදු වෙනසක් නොපෙන්වා සිය දෛනික රාජකාරිවල නිරත වුණා.

https://archives.silumina.lk/punkalasa/20101003/_art.asp?fn=ar1010033


Nissanka Rajapaksa

unread,
Apr 9, 2024, 10:17:07 PMApr 9
to INDRAKA group
8

මහත මිනිහයි කෙට්ටු මිනිහයි

ඇන්ටන් චෙකෝෆ්

පරිවර්තනය කරුණාතිලක හඳුන්පතිරණ

මිතුරන් දෙදෙනා හමුවූයේ නිකොලායෙවිච් දුම්රිය ස්ථානයේ දී ය. ඉන් එක් මිතුරෙක් හොඳ හැටි මහත දෙහෙත පෙනුමැත්තෙක් වූ අතර අනෙකා වැහැරී ගිය කෙට්ටු සිරුරකින් යුක්ත විය.

මහත තැනැත්තා බොජුන් හලකින් කෑම කා එන ගමන් ය. බටර් තැවැරුණු ඔහුගේ තොල් ඉදුණු චෙරි මෙන් ඔපවත් ය. දිස්නය දෙන සුලු ය. ඔහු වෙතින් වහනය වූයේ ස්පාඤ්ඤ ෂෙරී වයින්වල සුවඳත්, සුගන්ධයන්ගෙන් ඉමිහිරි බවත් ය.

කෘශ මිනිසා දැන් මොහොතකට පෙර පිටත් ව ආවේ දුම්රිය මැදිරියේ සිට ය. ඔහු ඇදුම් බෑග, පොට්ටනි සහ කාඩ්බෝඩ් පෙට්ටිවලින් බරවී හැනිහැම්ම වී සිටියේ ය.

ඔහු වෙතින් ලුණු දමා වේළූ ඌරු මස්වල සහ කෝපි කුඩුවල සුවඳක් වහනය විය. ඔහුට පිටුපසින් සිටියේ වැහැරුණු දිග නිකටැති කාන්තාවකි. ඇය ඔහුගේ බිරිඳ ය. ඒ සමඟ උසස් විද්‍යාලයක ශිෂ්‍යයකු වූ එකැස් වපර ඔහුගේ පුතා එබි එබී ඕනෑකමින් බැලුවේ ය.

”පෝර්ෆයිරි”, කෘශ මිනිසා දුටු තරබාරු මිනිසා එසේ කියා සිටියේ ය.

”අනේ.... මේ .. ඔයාද? මගේ මිත්‍රයා... අපි කොච්චර කාලෙකට පස්සෙද?”

”ආයුබොවන්ඩ .. ආයුබොවන්ඩ... කරුණාවන්ත මහත්මය...” එසේ කීවේ කෘශ තැනැත්තා ය. ඔහු මවිතයට පත් ව සිටියේ ය.

”මීෂා ... මගේ පුංචි කාලෙ මිත්‍රයා.. කොහේ ඉඳලද අප්පේ මෙහාට මේ පාත්වුණේ...?"

මිතුරෝ දෙදෙනා තෙවරක් වැලැඳ ගත්හ. කඳුළු පිරි දෑස්වලින් ඔවුහු එකිනෙකා දෙස ඕනෑකමින් බැලූහ. දෙදෙනා ම අභිමත පරිදි එකතුවන අයුරින් අන්දුන් කුන්දුන් නැතිව සිටියහ.

”මගේ ආදරණීය මිත්‍රයා..!” ආචාර සමාචාරවලින් පසුව කෙට්ටු මිනිසා කතාව පටන් ගත්තේ ය.

”මම නම් කවදාවත් බලාපොරොත්තු නො වූ දෙයක්... බලාපොරොත්තු නො වූ විදිහට අපි ආයෙ හමුවුණා. කොච්චර පුදුමද?”

එන්න එන්න ... ඔහොම ඉන්න අප්පේ ඩිංගක් ... ඔයා දිහා හොඳට බලාගන්න කල්... එදා වගේ ම යි. හරිම කඩවසම් අදත් ... ඔයා හැමදා ම හිටියෙ ඒ විදිහට ම... ජැන්ඩියට ඇඳල ඉන්න හොඳ ආකර්ෂණීය පෙනුමක් තියනව... දෙවියන්ට ම ඔප්පු වෙච්චාවෙ... ඉතින් කොහොමද? .. ඔයාගෙ විස්තර තොරතුරු .... පෝසත්ද? කසාදයක් කාරිය කර කියා ගත්තද? මම නම් විවාහයක් කර ගත්ත.

ඔය ඉන්නෙ පේන්න ම .. මේ මගේ බිරිඳ .. ලුසියා .. මේ මගේ පුතා .. නතානියල් ... මේ මම කුඩා කාලෙ එක පන්තියේ ඉගෙන ගත්තු යාළුවෙක්... අපි උසස් විද්‍යාලයට ගියේ එකට යි.”

නතානියෙල් මොහොතක් කල්පනාකර බලා අනතුරු ව ඔහුගේ හිස්වැසුම ගලවා ආචාර කර බුහුමන් දැක්වූයේ ය.

”අපි උසස් පාඨශාලාවට ගියේ එකට මයි...”, කෙට්ටු මිනිසා කතාව කරගෙන ගියේ ය.

”මතකයි ද ඒ කාලෙ, ඔයාට ඔයාට කොහොමද අනිත් අය හිරිහැර කරදර කළේ කියල.... ඒ අය ඔයාට කිව්වෙ ‘හීරොස් ටේ‍්‍රමස්’ කියලයි. ඒකට හේතුව ඔයා පාසල් නාමලේඛනයේ සිදුරක් හිටින්න පිච්චුව කාරණේ හින්දයි. ඔවුන් මට කිව්වෙ ‘එපියල්ටස්’, කියාලයි. ඊට හේතුව මම කයිකතන්දර කීමට ප්‍රියකළ නිසයි.

”...අහා...හා...හා...අපි ඒ කාලෙ ළමයි .... ලැජ්ජ වෙන්න එපා.... පුතේ... නැටී යන්න මහත්මය ළඟට... මේ මගේ හාමිනේ ... ‘නිවැන්සන් බැච්’, රෙපරමාදු ආගම්කාරියක්...”

නතානියෙල් මොහොතක් සිතා බලා තම පියා පිටුපසට ගොස් සැඟවුණි.

”හොඳයි ඉතින් කොහොමද ඔයාලගෙ සැපදුක් මගේ මිත්‍රයා?” යි තරබාරු තැනැත්තා අනෙකාගෙන් ඇසුවේ ප්‍රමෝදයෙනි.

”ඔයා ඉන්නෙ රජයේ සේවයේ ද? කොහෙද? කොහොමද?, මාත් සේවයක් නම් කරනව .... මගේ මිත්‍රයා ... මම විද්‍යා පීඨයක බොහොම පහළ ශ්‍රේණියෙ... මුදල් ගණන් තබන්නෙක් හැටියටයි.... මේ මගෙ දෙවැනි වසර... ශාන්ත ස්ටැනිස්ලෝස්ගෙ අණසක යටතේ තමයි මම වැඩ කරන්නෙ... වැටුප නම් ඉතින් අන්තිමයි... ඒත් ඉතින් මං කියල මොනව කරන්නද? රස්සාවට අමතර ව මම ලීවලින් සුරුට්ටු පෙට්ටි හදනව, අපේ හාමිනේ සංගීත පාඩම් පන්ති කරනව ... ඉස්තරම් සුරුට්ටු පෙට්ටියක්.. මම ඒ කෑල්ලක් විකුණන්නෙ රූබල් එකකටයි. ඔය ඉතින් දහයක් හරි ඊට වැඩි ගානක් හරි ගත්තොත් ඩිස්කවුන්ට් එකක් දෙනව. අපි බොහොම අපූරුවට අමාරුවෙන් හරි පිරිමහ ගන්නව ... ඔහෙ ඉතින් කොහොම කොහොම හරි දන් නැද්ද?”

”මම සිවිල් ස්වයේ ... ඔයා දන්නවාද? දැන් මාව මෙහාට මාරු කරල ... ඒ අමාත්‍යංශයේ ම ප්‍රධානියා හැටියට. මට මෙහි සේවයට එන්න වෙනව.”

”හොඳයි මම ඔට්ටු තියන්නම් ඔයා... පස්වැනි ශ්‍රේණියෙ නිලධාරියෙක් ... හරිද?”, කෙට්ටු මිනිසා කීවේ ය.

”නෑ.. නෑ.. මගේ ආදරණීය මිත්‍රයා... නෑ.. මාව ඩිංගක් ඉහළට දමන්නයි... සුළු උසස්වීමක්..” මහත මිනිසා කීවේය. “මම මගේ සේවය කර තියෙන්නෙ තුන්වැනි ශ්‍රේණියෙයි... මට තරු දෙකක් තියනව...”

කෘශ මිනිසා සැණින් සුදුමැළිවී ගියේ ය. ඔහු ගල් ගැසුණි. මුහුණ යළිත් වහා ම හැම අතට ම ඇද වී විරූප වී ගියේ ය. ඊට හේතුව මුහුණ පුරා පැතිරුණ හිනාවයි. එය හරියට මුහුණින් හා ඇස්වලින් ගිනි පුළිඟු වැගිරීමක් වැන්න. ඔහු බියෙන් හැකිළුණි. වකුටු වුණි. ඇකිළී රැළි වැටුණි. ඔහුගේ ඇඳුම් බෑග, පොට්ටනි හා කාඩ්බෝඩ් පෙට්ටි ද බියෙන් හැකිළ වකුටු වී ගියේ ය. ඔහුගේ බිරිඳගේ දිග නිකට තවත් දික් වූයේ ය. නතානියෙල් සීරුවෙන් සිට ගෙන ඔහුගේ කමිසයේ බොත්තම් සියල්ල ම දමා ගත්තේ ය. ඒ ඔහුගේ පාසල් නිල ඇඳුමයි.

”ගරු කටයුතු උතුමාණෙනි... පාසල් වියේ මගේ ශ්‍රීමත් මිත්‍රයාණනි... මේ වගේ වැදගත් පුද්ගලයෙක් ගැන ... කෙනකුට කොහොම කතා කරන්න බැරිද?”

”ඒක එහෙමයි...” මහත මිනිසා රැව්වේ ය.

”ඇයි ඒ කටහෙඩ් විලාසය?, අපි දෙන්න ළමා කාලෙ යාළුවො... මොකක්ද ඉතින් තවත් හීනමානයක්... හරියට දාසයෙක් වගේ..”

”ඇත්තට ම සර්... හුඟාක් කාරුණික වෙන්න..” කෙට්ටු මිනිසා කෙකර සිනා පෑවේ ය. ඔහු තව තවත් බියෙන් හැකිළෙමින් කොන්ද නැමුවේ ය.

”උතුමාණන්ගෙ දැඩි අවධානය හරියට ජීවිතය දෙන, සහනය ගෙනෙන සුගන්ධයක් වගෙයි... මේ.. උතුමාණනි... මගේ පුතා... නතානියෙල්.. මගේ බිරිඳ ලුසියා.. රෙපරමාදු ආගම් භක්තික කෙනෙක්... කතා කරන හැටියට නම් ආගම් භක්තිය හරි ඉහළයි...”

තරබාරු මිනිසාට ඊට විරෝධය පළ කරන්නට අවශ්‍ය විය. එහෙත් කෘශ මිනිසාගේ බොහෝ වූ දණ්ඩනමස්කාරයත්, ඔහුගේ සෞම්‍යකම හා ගරු සැලකිලිවලට වූ නොරිස්සුම් කමත් අමිහිරි හා අප්‍රසන්න ලෙස ඔහුට බලපෑ අතර ඒවා ඔහුගේ මුහුණේ ලියැවී තිබුණි.

එයින් තුන්වැනි ශ්‍රේණියේ නිලධාරියා ලෙඩ වුණි. ඔහු කෙට්ටු මිනිසා වෙතින් ආපසු හැරී “ආයුබෝවන්” කීවේය. කෙට්ටු මිනිසා ඇඟිලි තුනක් වැරෙන් අල්ලා ගත්තේය. මුළු සිරුර ම නමා ඩයිනාමන් කෙනකු මෙන් සිනාසුණේ ය.

...හි..හි..හී.. ඔහුගේ බිරිඳ සිනාසුණාය. නතානියෙල් ඔහුගේ හිස්වැසුම අත හැරියේ ය. එතැන සිටි සියලු ම දෙනා, එනම් තිදෙනා ම ඇත්තට ම අන්දුන් කුන්දුන් වූහ.

https://archives.silumina.lk/punkalasa/20100207/_art.asp?fn=ar1002073


Nissanka Rajapaksa

unread,
Apr 10, 2024, 8:30:34 PMApr 10
to INDRAKA group
9
සීයාගේ දිනපොත

කැත්ලීන් ජයවර්ධන

වුරුදු විසිපහක් තුළ ඉගෙනීමෙන්, පතපොත කියවීමෙන්, දෙස් විදෙස් සංචාරවලදී දැනහඳුනාගත් විවිධ මිනිසුන් හා දැනහැඳුනුම්කම් වගා කර ගැනීමෙන් නො ලත් ජීවිතාවබෝධයක් මා ලැබුවේ සීයාගේ දිනපොත් කියවීමෙනි යි සිතමි.

වේලාපත්කඩයක් මෙන් කහ ගැහී, අකුරු මැකී ගොස් තිබූ දිනපොත් වල ඇතැම් පිටු, පදාස පිටින් කාවුන්ගේ කුස තුළ අතුරුදහන්ව තිබූ මුත්, තැනින් තැන කියවූ ඒ ඇතැම් දින සටහනකින් පවා මට හැඟුණේ මහාසාර ග්‍රන්ථරත්නයක් මා අතපත් වී ඇති බවකි.

පොතපත ලියමින්, පොතපත අතරේ ජීවත්වී, පොතපත නිසාම හටගත් කාංසාවකින් පෙළුණු සීයා මියගියේ කෙබඳු මනෝභාවයකින් යුක්තව ද? යන්න පිළිබඳ සැකසාංකාවක් මගේ සිතෙහි හටගැනෙමින් තිබේ. ක්ෂුද්‍ර ලේඛකයකු වශයෙන් ජීවත් වූ සීයා මහාලේඛකයකු බවට පත් කරන ලද්දේ ‘මරුවා’ විසින් දැයි මම සිතමි.

සීයා මිය ගියේ මට තුන් අවුරුද්දක් පිරෙන්නට ද පෙර ය. එහෙත් ඉදුණු දෙබැමට යටින් වූ තියුණු දෑසක් නිකටේ තැනින් තැන වූ සුදු රැවුල් කොට සහිත බොඳවුණු මහලු මුහුණක් සීයා සිහිකරන හැම විට ම පාහේ මගේ මතකයට නැඟෙයි. ඒ සමඟ ම මට සිහිවන්නේ පිත්තල පඩික්කමකි. බුලත් කෑමේ රුසියෙක් වූ සීයා ගේ ඒ පඩික්කම බෝතල් පත්තර කාරයකුට විකුණූ අම්මා පිත්තල බරට සොච්චම් මුදලක් ලබා ගත් දිනය ද තවමත් මට මතක තිබේ. එය තරමක් පැහැදිලි ලෙස මගේ මතකයේ ඇඳී ඇත්තේ, සීයාගේ මරණයෙන් බොහෝ කලක් ගත වූ පසු ව සිදුවූවක් වන හෙයිනි.

ජනේලයේ තිරරෙද්ද විවරකරන මා, මාවත දෙස බලන්නේ සිතේ තදබදයක්, හිසේ බරගතියක් දැනෙන නිසා ය. කුඩ ඉහලාගත් මිනිස්සු, දෑත් දෙපා විසිකරමින් ඉක්මන් ගමන් යන මිනිස්සු, වීථි දරුවෝ, වීථි බල්ලෝ ගිනියම් වෙමින් ඇති උදා හිරුරැස් මැද ඒ මේ අත යති. ඔවුන් බෝනික්කන් මෙන් කුඩාවට දිස්වන්නේ මා සිටින්නේ මහල් තුනකට ඉහළින් වන නිසා ය.

අපේ නිවස පිහිටා ඇත්තේ මේ පස්මහල් ගොඩනැඟිල්ලේ සිවුවන මහලෙහි ය. අපේ පොත් සාප්පුව බිම් මහලේ පිහිටා ඇති අතර, ප්‍රකාශනායතනයත්, පරිගණක අංශයත්, මුදල් අංශයත් දෙවන හා තුන්වන මහල්වල පිහිටා තිබේ. පස්වන මහල මුළුමණින් ම වෙන් වී ඇත්තේ පොත් ගබඩා කර තැබීම සඳහා ය.

මේ සමෘද්ධිමත් ව්‍යාපාරයේ, ප්‍රකාශනායතනයේ, ‘නිර්මාතෘ’ වශයෙන් මගේ සීයා නම් කළ හැකි දැයි මම මොහොතක් සිතා බලමි. එහෙත්...? ව්‍යාපාරිකයකු නො වූ සීයාට කිසිදු ව්‍යාපාරික අරමුණක් ද නො වූ බවට සැක නැත. උපන්ගෙයි ලේඛකයකු වූ සීයා ආණ්ඩුවේ කන්තෝරුවක තුන්වෙනි ශ්‍රේණියේ ලිපිකරුවකු වශයෙන් රැකියාවට බැඳී, පළමුවෙනි ශ්‍රේණියේ ලිපිකරුවකු වශයෙන් විශ්‍රාම ගිය රජයේ සේවකයකු වූ බව ආච්චි මට කියා තිබේ. ආච්චි මියයන තුරුම ඇගේ පෙට්ටගම තුළ පූජා භාණ්ඩයක් මෙන් සුරැකිව පැවැති සීයාගේ කවුළු තුනේ හම්බෑගයට දැන් කවර නම් ඉරණමක් අත්වී ඇද්දැයි මම නො දනිමි.

මෑත යුගයේ අතිශයින් ජනප්‍රිය වූ හින්දි ගීතයක අනුවාදනයක් වයන්නේ තාත්තාගේ ජංගම දුරකථනය ය. හඬ උස්සා කතා කරන තාත්තාගේ කටහඬ කනේ තිවුවාක් මෙන් මට ඇසෙයි.

“මහත්තුරු මට සමාවෙන්න ඕන. ඊට අඩුවෙන් නං ගාණක් කියන්න මට පුළුවන් කමක් නෑ. ඔව්... මං පදනමේ සභාපති වුණාට සාමාජිකයෝ කාගේත් ඒකමතික තීරණේ වුණේ ඒකයි.... ඔව්. ඔව්. තාත්තගේ පොත් තුනක් ම නේ ඕගොල්ලට ඕන කරන්නේ? අනේ ඒකනං කරන්න ටිකක් අමාරුයි.

මෙගා ටෙලියක් කියන්නේ ඉතිං අවුරුදු ගාණක් ටෙලිවයිස් වෙන එකක් නේ? ඔව් ඉතිං... ඇඩ්වටීස්මන්ට් වලින් ම විතරක් කොච්චර ගාණක් ඒවි ද?... නෑ... නෑ ඒව අපේ පදනමට ප්‍රශ්නයක් නෑ. ඒත් ඉතිං පොත් තුනට ම නං අඩුම ගානේ වන් මිලියන් වත් අවශ්‍යයි කියන එකයි පදනමේ තීරණේ නං. ඔය ඉතිං ආණ්ඩුවේ විභාග වලටත් නිර්දේශ වෙච්ච පොත් නේ?”

රිසිවරය කන තබා සිටින තාත්තාගේ සෙවණැල්ල දොර රෙද්දේ ඇඳී තිබේ. ළඟදී රූගත කිරීම් ඇරැඹෙන ටෙලිනාට්‍යයක් සඳහා සීයාගේ තුන් ඈඳුතු නවකතාවක අයිතිය ඉල්ලා ගැනීමට රූපවාහිනි නාලිකාවකින් පිරිසක් පැමිණියේ ඊයේ රාත්‍රියේ ය.

පොතක අයිතිය වෙනුවෙන් ලක්ෂ දෙක හමාර බැගින්, ග්‍රන්ථ ත්‍රිත්වය සඳහා ලක්ෂ හත හමාරක් ගෙවීමට ඔවුන් එකඟත්වය පළ කළ මුත් තාත්තා ඒ අවස්ථාවේ පැවසුවේ සීයා නමින් ස්ථාපිත කොට ඇති පදනමෙහි සෙසු සාමාජිකයන්ගේ අදහස් නො විමසා තමාට ඍජු පිළිතුරක් දිය හැකි නො වන බව ය. එහෙත් පදනම නියෝජනය කරන එවැනි සාමාජික සංඛ්‍යාවක් ඇති බවක් හෝ ඊයේ රැය පහන් වන තුරු එවැනි කතාබහක් - විමසුමක් සිදුවූ බවක් හෝ මම නො දනිමි.

සමනළ තටුවක් අල්ලා ගන්නා පරිස්සමකින් යුතු ව සීයාගේ ඉරුණු දිනපොතේ පිටුවක් පෙරළන මගේ සිත අවිනිශ්චිත ශෝකයකින්, බියකින් හා සැකයකින් මෙන් ම වරදකාරී හැඟීමකින් ද වෙළී යයි. මා තුළ මේ මොහොතේ මෙවැනි හැඟීම් මතුව නැඟෙන්නේ කුමක් නිසා ද? සීයාගේ ජීවිතයට - සීයා මුහුණ දුන්නේ යැයි හැඟෙන අනේකවිධ වූ දුෂ්කරතාවනට කවර අයුරකින් හෝ මා වගකිව යුතු ද එහෙත්...?

පනහේ දශකය අගභාගයේ දිනක පැහැදිලි අත් අකුරින් සීයා ලියා ඇති දින සටහනකි. දැන් මා ඉදිරියේ ඇත්තේ

සැප්තැම්බර් 18

‘සාහිත්‍ය සම්මාන’ යනු ලේඛකයා තුළ තරගකාරිත්වයට, මමායනට හුළං පිඹින ඔවුන් අතර වන අන්‍යොන්‍ය සුහදතාව පළුදු කරන, එක්තරා ඇමක් මෙනි, මා දකින්නේ. බහුතර පාඨක පිරිසකගේ නොමඳ ආදරයටත් - ප්‍රශංසාවටත් පාත්‍ර වූ මගේ නවකතාව විනිශ්චය මණ්ඩලය විසින් මුල් වරයේදී ම කපා හරිනු ලැබීම පිළිබඳව මා උදක් ම සතුටු වන්නේ එහෙයිනි.

‘සම්මාන ප්‍රදානය’ වූ කලී තරගකාරීත්වයට උඩගෙඩි දීමකි. සංගීතය, නර්තනය, රංගනය ආදී වෙනයම් වූ කවර ප්‍රාසංගික අංශයකට සම්මාන ප්‍රදානය කළ ද ලේඛකයාට සම්මාන අකැප යැයි මට සිතෙන්නේ, ඔහු රේස් අශ්වයකු බවට පත්කළ යුතු නො වන නිසා ය. ලේඛකයන් අතරේ භේදභින්න වීම් සිදු නොවිය යුතු නිසා ය.

සාහිත්‍ය ප්‍රවර්ධනය සඳහා අතිශයින් බලපාන්නේ යැයි නිරන්තරව ම අප සිතා සිටින සම්මාන ප්‍රදානය පිළිබඳ සීයාගේ මතය මගේ සිත පහුරුකාමින් තිබේ. සීයා විසින් මේ සටහන ලියන ලද්දේ මිදි ඇඹුල් යැයි කී නරියාගේ මානසිකත්වයෙන් යුතුව ද? එසේ යැයි සිතන්නට කොතෙක් උත්සාහ කළ ද දින සටහනේ නො පෙනෙන සත්‍යයක්, නිධානයක් මෙන් සැඟවී ඇති බව නො සිතා සිටින්නට ද මට නො හැකි ය.

ඝන කවරය ඉරී ගිය තවත් දින පොතක පිටු පෙරළන මගේ නෙත් තවත් අලුත් සටහනක් කරා ඇඳී යයි. ඒ වූ කලී ඉහත දින සටහනට වසර හයක් ගෙවීමෙන් අනතුරුව ලියැවුණකි.

ජනවාරි 27

'සියපත හා විල’ නම් වූ මගේ නවකතාවේ හයවැනි මුද්‍රණය නිකුත් වූවේ අදයි. කෘතියේ හතර වැනි හා පස්වැනි මුද්‍රණ සඳහා ප්‍රකාශකයන් විසින් ගෙවිය යුතු මුදල මට මෙතෙක් නොලැබුණ ද හය වැනි මුද්‍රණය සඳහා සැකසුණ ඔවුන්ගේ ගිවිසුමට මා අත්සන් තැබුවේ සතුටිනි.

මේ රටේ බහුතර වූ පාඨක සංඛ්‍යාවක් ‘අසිපත හා විල’ කියවීම මට මහත් වූ ප්‍රීතියක් ගෙන දී තිබේ. එය රුපියල් ශත වලට වඩා අගී. ‘සංතුට්ඨි පරමං ධනං...’ අන් කවරකුට කුමක් වෙතත්, ලේඛකයාට නම් පරම ධනය වන්නේ සතුටයි.

දිනපොතේ එක් දිනයක් සඳහා වෙන්වුණ තීරුවේ ඉඩ මඳකම නිසා සීයාගේ ඒ සටහන ඊළඟ දිනය සඳහා වෙන් වූ කොටස ද ආක්‍රමණය කර තිබේ. දීර්ඝ වූ එහි ඇතැම් කොටස් ඉරී මැකී ඇතත්, අවසානයේ ලියැවුණු ඡේදය පැහැදිලි ය.

සම්මානය ගිලිහුණ ද වසර හයකට පෙර එළි දුටු ‘සියපත හා විල’ කෘතිය වසරක් පාසා පැටවු ගසමින් දිගු ගමනක යෙදී සිටියි. එහෙත් ‘සියපත හා විල’ පරාජය කොට පිදුම් ලැබූ කෘතියේ නම හෝ මතක් කරගත හැකි පාඨකයෙක් දැන් සොයාගත හැකි නැත.

දිනපොතේ ගිලදැමූ කොටස් කාවුන් ලවා වමාරවා ගැනීමට තරම් වූ, උනන්දුවකි, දැන් දැන් මා තුළ නැඟෙමින් ඇත්තේ. එහෙත් දෑසේ උපරිම ශක්තිය යෙදුව ද ඉන් අනතුරුව මට කියවාගත හැකිවන්නේ සීයාගේ කෘතියක් සම්මානයෙන් පිදුම් ලැබූ වසරේ ලියැවුණු දිනසටහන් දෙකක් පමණි.

සැප්තැම්බර් 20

මගේ කෘතියක් සම්මානයෙන් පිදුණේ අදයි. සම්මානයක් ලැබීම හොඳයි. දහසින් බැඳි පියලි ලැබීම ඊටත් වඩා හොඳයි. වෙසෙසින් ම එය දුර්ලභ සම්පතක් ලෙස හැඟෙන්නේ රාජ්‍ය සේවයේ නියුතු ලේඛකයකුටයි.

අනියත වූ ශෝකී හැඟීමකින් මගේ සිත මැඬෙමින් තිබේ. සීයා ගත කළ ජීවිතයේ අඳුරු දුක්මුසු අවස්ථා මා ඉදිරියේ සිතුවම් මවයි. ඔහුගේ දිවියේ ඛේදය මා විනිවිද දකිමින් ඇත්තාක් මෙනි. සීයා මිය ගියේ කෙබඳු සමාජ තත්ත්වයක්, ආර්ථික තත්ත්වයක් පසුබිමේ ද?

දින වකවානු, කාලවකවානු දෙස පසු හැරී බලන මට දැන් දැන් අලුත් සත්‍යයක් ද පසක් වෙමින් තිබේ. ඒ සීයාගේ දස්කම් - විස්කම් බහුතරයකගේ කතාබහට ඉලක්කවුණේ සීයා සම්භාවනාවට පාත්‍ර වුණේ මරණයෙන් පසුව ය යනුයි.

සීයාගේ නවකතා බොහොමයක් ද සමඟ ඔහුගේ කිතුගොස දස දෙස පැතිර ගියේ, ඒ කෘති ජාත්‍යන්තර භාෂාවලට පරිවර්තනය කෙරුණේ වරින්වර පැවැත්වුණ විද්වත් සාකච්ඡා මණ්ඩප, සම්මන්ත්‍රණ හා විචාර ද එළිදැක්වීමෙන් අනතුරුව යැයි අම්මා මා සමඟ කියා තිබේ. ඒ අනුව පෙළපොත් වශයෙන් ඒවා නිර්දේශ වී ඇත්තේත් ඒවා සිනමාවට නැඟිය යුතු මට්ටමේ පවතින බව සම්භාව්‍ය චිත්‍රපට අධ්‍යක්ෂවරුනට මතක් වී තිබෙන්නේත් මේ විචාර කලඑළි බැසීම ද සමඟිනි. සීයාගේ එක ම නවකතාව දෙතුන්වරක් ටෙලිනාට්‍යය බවට පෙරළූ අවස්ථා ද ඇති බව මතක ය.

‘නිසල ප්‍රකාශනායතනය’ තාත්තා විසින් අරඹනු ලැබුණේ මේ පෙරළිකාර කාලවකවානුවේදී විය යුතු ය. ප්‍රකාශන කාර්යයට අදාළ ව තාත්තා විසින් මිලදී ගනු ලැබුවේ සීයාගේ පොත් බොහොමයක් මුද්‍රණය කෙරුණු මුද්‍රණාලයකි. පැරැණි මුද්‍රණාලය නවීකරණය කළ තාත්තාට අතිනවීන තාක්ෂණික මෙවලම් ද මිලදී ගැනීමට හැකි වුණේ ඒ වනවිට පාසල්වල පාඨ්‍ය ග්‍රන්ථ බවට නිර්දේශිත ව තිබූ සීයාගේ කෘතීන් සඳහා ලැබෙමින් පැවැති අතිමහත් වූ ඇණවුම් සංඛ්‍යාව හේතුවෙනි.

අසීරුවකින් තොර ව කියවා ගැනීමට හැකිවන පරිද්දෙන් කාවුන් විසින් ඉතිරි කරන ලද අවසාන දින සටහන ය, මා දැන් කියවමින් සිටින්නේ. සීයා එය ලියා ඇත්තේ මුල්වරට සම්මානයෙන් පිදුම් ලැබූ දාට පසුව ය.

සැප්තැම්බර් 29

සම්මානයක් ලැබීම හොඳයි. හොඳ තරමටම නරකයි. සම්මානයකින් ලේඛකයකුට ලද හැකි සතුට ජීවිතය මෙන් ම අනිත්‍යයි. තාවකාලිකයි. සම්මානයට එරෙහිව හතර අතින් මතුව නැඟෙන ගල්මුල් කැට කැබලිති වලින් ලේඛකයකුගේ සංවේදී සිතට ඇති විය හැකි සීරීම් තුවාල බොහොමයි. ඒ සුළු තුවාල නොතකා හැරිය හැකි වෙනත් ලේසියෙන් අමතක කළ නො හැකි ඉතා කනගාටුදායක කරුණ වන්නේ සහෝදර ලේඛකයන්ගේ ඇවතුම් පැවතුම්වල ඇතිවන අලුත් වෙනස හා නුහුරු ස්වභාවයයි. මගේ කෘතියකට සම්මානය අහිමි වූ දවසේ මා වෙනුවෙන්, මගේ කෘතිය වෙනුවෙන් කෙස් පැලෙන තර්ක විතර්ක ඉදිරිපත් කරමින් පුවත්පත්වලට ලිපි සැපයූ හිතවතුන්ගේ බෙරි වූ මුහුණු, ඇල් මැරුණු සිනා දකිනා විට සම්මානය නො ලැබී සුහදතාව පමණක් ඉතිරි කර ගත හැකි වූවා නම්’ යි සිතෙන වාර අනන්තයි.

එක් අතකින් ඒ සම්බන්ධයෙන් ඔවුන් වරදකරුවන් කිරීමට ද නො හැකියි. ලේඛකයා ය කියන්නේත් මනුෂ්‍යයෙක්. රසභාව පෝෂණය කළ ඔහු රස නිෂ්පත්තිය හේතුවෙන් ම වැඩිදියුණු කළ කෙළෙස් ඇත්තකු මිස කෙළෙස් තැවූවකු නොවේ. මා කළ යුතුව ඇත්තේ මේ යථාර්ථය හඳුනාගැනීමයි.

“පුතාගේ ෆ්ලයිට් එක කීයට ද තියෙන්නේ?”

මගේ සමාධිය බිඳ හෙළමින් ප්‍රතාපවත් ලෙස මතු ව නැඟෙන්නේ තාත්තාගේ හඬ ය. බුරුසුවක් අතැති ව දොර උළුවස්ස අසල නැඟී සිටින තාත්තාගේ සුදුවේගෙන එන ඉසකේ මත කළුතීන්ත තවරා ලාටු ගා ඇත්තාක් මෙනි.

“රෑ තුනට”

ට්‍රාන්සිට් එකක් තියෙනව නේ?”

“ඔව්”

තාත්තා පිට ව යන්නේ දීර්ඝ සංවාදයකට මා සූදානම් නැති බව ඉවකින් මෙන් හැඟුණ හෙයින් ද? පුරා තුන් අවුරුද්දක් ගේ දොර හැරපියා දුරු රටකට යන මා ඒ අවසන් දවසේ හෝ මීට වැඩි දයාවකින්, කරුණාවකින් මවුපියන් හා එක්විය යුතු නො වන්නේ ද? එහෙත්...? මළගිය සීයාගේ දින සටහන් කියවීමෙන් පසු ඇහේ කුණක් මෙන් සිතෙහි කැවෙන මේ අසහනය මා ආපස්සට අඳිමින් ඇත්තේ ද? කොතැනක හෝ වරදක් අකටයුත්තක් සිදුවී ඇතැයි මට හැඟෙන්නේ කුමක් නිසා ද? සිදුවූ සියල්ලට වගකිව යුත්තා කවුද? එවැන්නෙක් සිටී ද?

නිර්මාණකරුවකුට ‘මරණය’ ආශිර්වාදයක් වන්නේ දැයි මම යළි සිතා බලමි. මහත් වූ විමතියක් මා තුළ නැඟෙයි. මේ තත්ත්වය මේ රටට පමණක් පොදු වූවක් ද නො වේ. අත්පිටපත මුද්‍රණය කරගැනීමට ඉඩක් - කඩක්, තැනක් සොයමින් පාරක් - පාරක් ගානේ, හන්දියක් - හන්දියක් ගානේ රස්තියාදු ගැසූ සම්භාව්‍ය මට්ටමේ ලේඛකයන් ද ලෝකයේ ජීවත් වී තිබේ.

ආකූල ව්‍යාකූල කල්පනාවක ගැලී සිටින මගේ නෙත් දළදා පෙරහැර සිත්තම් කළ තිරරෙද්ද අපූරු වර්ණසංකලනය හා මුසුවෙයි.

නුවර පෙරහර...? මාළිගාවේ ඇතා...? දන්තධාතූන් වහන්සේ...? දළඳා කරඬුවට පවන්සලන්නන් ඔසවාගෙන යන පරිවාර ඇතුන්...?”

සීයාගේ දිනපොත මගේ කල්පනා ලෝකය පුබුදුවමින් මා පෞරාණික, ඓතිහාසික ඉම්පෙදෙස් කරා ද කැඳවාගෙන යමින් තිබේ. එය මට ඉතිහාසයේ නව ඉසවු නො දුටු විරූ ඉසවු මතුකර දක්වයි. තාක්ෂණයක් තුළ මගේ සිත, මගේ සිතුවිලි තැන් මාරුකරන්නේ වසර දෙදහස් පන්සියයකට පෙර යුගය වෙත ය. භාරතදේශය පුරා වනදුර්ග - ගිරිදුර්ග තරණය කරමින් පා ගමනින් වැඩි බුදුන්වහන්සේ හා දළදා පෙරහරේ වැඩම වන දන්තධාතූන් වහන්සේ සසඳා බලන්නට මගේ සිත යොමුවෙයි.

ශාක්‍ය කුලයේ ඉපිද, රජසැප හැරපියා සතළිස් පස් වසක් පුරා වනදුර්ග ගිරිදුර්ග අතරේ පා ගමනින් සැරසරමින් භාරතය විප්ලවීය මාවතකට අවතීර්ණ කළ බුදුන් වහන්සේ...?

පලස්තීනයේ බෙත්ලෙහෙමේ දී යුදෙව් ජාතික කන්‍යාමරියාවන්ගේ කුසින් ඉපිද නාසරෙත්හි ජීවත් වී තුන්වසක් දහම් දෙසා ජෙරුසලමේ දී මරණයට පත් කරනු ලැබූ ජේසුන් ක්‍රිස්තුන් වහන්සේ...?

දිව බොජුනක් මෙන් රසවත් වූ බත්පිඬු ගුලිකරමින්, මා කුඩා කල බුදුන්වහන්සේ ගේ පරිනිර්වාණය සිදුවූ ආකාරය පිළිබඳ පුවත, රස කතාන්දරයකට ගැලපූ ආච්චි අම්මා මට සිහිවෙයි. රෝගාතුරව, අබලදුබලව අනඳ හිමියන් ද සමඟ කුසිනාරාව කරා වැඩම කරමින් සිටි බුදුන්වහන්සේ, විඩාභරිතව, තුරුසෙවණක නැවතී, ‘ආනන්ද, මට වෙහෙසයි. පැන් ටිකක් ගෙනෙන්නැයි’ ඉල්ලා සිටි අවස්ථාව ආච්චි අම්මා කියා පෑ ශෝකීස්වරය ය, දැන් මා ශ්‍රවණය කරමින් සිටින්නේ. ශාරීරික වේදනාවෙන් පරිපීඩිතව රළු මහපොළොව මත වැතිර සිටි බුදුන්වහන්සේ හා දළදා පෙරහරේ අසිරිය මම සිතින් සසඳමි.

චාමර සලන්නන්... පරිවාර ඇතුන්... ධජපතාක... සේසත්... හොරණෑ...

අබ පියල්ලක් තරම් වූ ධාතූන් වහන්සේ නමකට මෙදා මිනිසුන් විසින් සිදු කරනු ලබන වත්පිළිවෙත්, පුදපූජා, ගෞරව සත්කාර එදා ජීවමාන බුදුන් විසිනුත් අත්විඳින ලද්දේ ද?

දොර උළුවස්සට ඉහළින් බිත්තිය කෙළවරේ කුඩා වීදුරු කුටියක වඩා හිඳුවා ඇති මැණික් ගලකින් කැපූ බුදුපිළිම වහන්සේ, තත්පර ගණනාවක් තුළ මගේ අනිමිසලෝචන පූජාවෙන් පිදුම් ලබයි. තායිලන්තයේ නිර්මාණය කෙරුණු මේ බුදුපිළිමයේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකක් පමණ වන බවත් තාත්තා කී බව මට මතකය.

මගේ සිතුවිලි මෙරු මෙන් දස අතේ පියාසලයි. මා පැටලී සිටින්නේ පඹගාලක් වැනි සංකීර්ණ වූ ප්‍රශ්නාවලියක ය. නිශ්චිත අරමුණකින්, ඉලක්කයකින් තොරවූ විවිධ අදහස්, ගැටලු මගේ සිතට ගලාඑමින් තිබේ.

සීයාගේ ප්‍රතිභාව තාත්තාට කාන්දු නො වූයේ කුමක් නිසා ද? තාත්තාගේ ව්‍යාපාර ඥානය මා අත්පත් කර නො ගන්නේ කුමක් හෙයින් ද? නිර්මාණ කාර්යයට අත ගසා නැතත් නිර්මාණයක් රසවිඳීමේ හැකියාවක්, සංවේදිභාවයක් මා සතුව තිබේ. ජීවිතයේ ඇතැම් අවස්ථාවල දී මගේ පසුබෑමට තුඩුදුන්නේත් මේ සංවේදී භාවය ද? මේ මොහොතේ මගේසිත ඔද්දල් කරනු ලැබ ඇත්තේත් එකී වේදිතයන් විසින් ද? හැඩරුව, කටහඬ හා ඇතැම් ගතිපැවතුම් මිස නිර්මාණාත්මක ශක්‍යතාවන් මවුපියන්ගෙන් දූ දරුවන්ට බෙදී නො යන්නේ කුමක් නිසා ද? ඒ ‘ප්‍රතිභාව යනු ප්‍රතිභාවම’ වන හෙයින් ද?

සීයාගේ දිනපොත පරිස්සමින් ඔතන මා එය මගේ ගමන් මල්ල තුළ බහාලන්නේ මැකුණු අකුරු කියවාගත හැකි තාක්ෂණයක්, ක්‍රමවේදයක් ඕස්ට්‍රේලියාවේදී හෝ සොයා සපයා ගැනීමේ බලාපොරොත්තුවෙන් යුතුව ය. ජීවිත කාලය තුළදී සම්භාවනාවට පාත්‍ර නො වූ විශිෂ්ටයන්ට අගයක්, කීර්තියක් අත්පත් කර දී ඔවුනට සාධාරණය ඉටුකරනු ලබන්නේ මාරයා විසින් ද? යන සංකීර්ණ පැනය, භයංකර සත්‍යය මා ඉදිරියේ දැවැන්ත ව මතුවී තිබේ. අනෙක් අතට කිසියම් විශිෂ්ටයකුගේ ශ්‍රේෂ්ඨ නිමැයුමක් - කෘතියක් ඔහුගේ මරණයෙන් පසුව හෝ සමාජගත වීමේ නිසි ඇගැයුමකට බඳුන්වීමේ වරදක් තිබේ දැයි මම සිතා බලමි.

එහෙත්...?

එවැනි නිර්මාණයක කෘතියක වාසි, ප්‍රතිලාභ බුක්ති විඳිනු ලබන්නේ, ඒ මත රාජධානි ගොඩනංවාගනු ලබන්නේ කවුරුන් විසින් ද?

https://archives.silumina.lk/punkalasa/20090927/_art.asp?fn=ar0909273

Nissanka Rajapaksa

unread,
Apr 11, 2024, 7:14:13 PMApr 11
to INDRAKA group
10
ශිශිර තරණය

කැත්ලීන් ජයවර්ධන

හිතාදර රිෂී!

අවස්ථාවාදියකු, දෙපිටකාට්ටුවකු, වංචනිකයකු හා සලෙලකු ලෙස මට අවලාද නගමින්, ආක්‍රෝෂ පරිභව කෙරෙමින් ඔබ එවූ ලිපි සියල්ල කුඩා පළිඟුවක බර දරමින් මගේ මේසය මත වෙයි. මා අවස්ථාවාදියෙක් ද? දෙපිටකාට්ටුවෙක් ද? වංචනිකයෙක් ද? යන ප‍්‍රශ්න තවමත් මම මා වෙතින් ම නගමි. මේ මොහොතේත් මා දවමින්, තවමින් ඇති උභතෝකෝටිකය නම් ඒ ය.

එහෙත් මා අවස්ථාවාදී; වංචනිකයෙකැයි සිතන්නට, තීරණය කරන්නට ඔබට ඇති ශුද්ධ වූ අයිතියට ද මම ගරු කරමි. ඔබ තුළ මෙන්ම ඔබේ මව තුළත්, මුළු මහත් ජනසමාජය තුළත් මා පිළිබඳව මේ මොහොතේ ඇඳී ඇති පැහැදිලි සිතුවම නම් ඒ ය.

එක් අතකින් ‘මම වැරදිකරුවෙක් නො වෙම්’ දැයි සිතන්නට මට අනුබල දෙන්නේ මේ සියලු ගනුදෙනු හා සහ සම්බන්ධතාවනට මුල පිරූ පුද්ගලයා මා වන නිසා ය. සැබෑ ය. ඔබේ ජංගම දුරකථනයට මුලින්ම ඇමතුමක් ලබා දුන්නේ ද මා ය. ඔබ විපිළිසර වූයේ මගේ හඬ ඔබට නුහුරු, නුපුරුදු වූ නිසා ය.

‘ශෂී...?’ ‘කවුද ශෂී කියන්නේ?’ යි ඔබ ඇසුවේ කෝප සහගත උද්දච්ච ස්වරයකින් බව මට මතකය. තරමක් දුරට ඔබ සන්සුන් වූයේ මා මගේ අවශ්‍යතාව පැහැදිලි කිරීමෙන් අනතුරුව ය. මගේ යටි අරමුණ ඔබ වෙත කාන්දු කරද්දී මා එතරම්ම නිහතමානී හා ආචාරශීලී වූයේ එය ව්‍යාපාරික කටයුත්තක් හා බැඳීගත්තක් වූ හෙයිනි. අවසානයේ දී ‘හරි බලමු’ යි ඔබ කියද්දී ඔබේ ස්වරයෙහි වූයේ ආරම්භයේ පැවැති කෝපයේත්, මානයේත් හුළං බැස ගිය ස්වභාවයකි.

‘ඔයාලගේ ෆිනෑන්ස් කම්පැනි එක කොතන ද තියෙන්නේ?’ යි ඔබ ඇසුවේ දෙවන වරට මා ඔබ දුරකථනයෙන් ඇමතූ අවස්ථාවෙහි ය. අභිප‍්‍රාය ඉටුවීමේ ඉහවහා යන සතුට මට දැනිණ. ඔබේ ඒ ප‍්‍රශ්නය මට සන්නිවේදනය කළේ අප හා ගනුදෙනු කිරීමට ඔබ සූදානම්ව ඇති බව ය. කෙසේ වුව ද ඔබ වඩාත් ආසක්ත වූයේ මගේ ස්වරයට ද? කතා ශෛලියට ද? ඒ සැම තුළින් මතු වූ තාරුණ්‍යයට ද? ශෂී යන නමට දැයි මම තවමත් නො දනිමි. රිෂී...? ශෂී...? ඇතැම් විට අවිඤ්ඤාණකව මේ සියල්ල ඔබට බලපෑම් කළ බවක් සිතන්නට ද ඉඩ තිබේ.

එහෙත් මා එසේ ඇමතුවේ ඔබ පමණක් ය, යන ආකල්පය ඔබ දරා සිටීම සම්බන්ධයෙන් නම් මට කළ හැකි කිසිවක් නැත. ඒ මගේ වෘත්තීය ජීවිතයට අදාළව එවැනි ඇමතුම් සිය දහස් ගණනක් මා විවිධ පුද්ගලයන් වෙත ලබා දී ඇති හෙයිනි. නන්නාදුනන පුද්ගලයන්ගේ දුරකථන අංක මා ලබා ගෙන ඇත්තේ විවිධ දුරකථන නාමාවලීන් ඇසුරු කිරීමෙනි. මා මගේ ව්‍යාපාරික අරමුණ ඔවුනට සන්නිවේදනය කරන්නේ එය ඔවුන්ගේ ම අවශ්‍යතාවක් බවට පත් කිරීමේ ඉන්ද්‍රජාලික ක‍්‍රමවේදයක් ඔස්සේ ය.

නිතර දෙවේලේ දකින වෙළෙඳ දැන්වීමකට පෙනී සිටින කඩවසම් හින්දි නළුවකුගේ ස්වරයෙහි ඇති ගැඹුරු, එමෙන්ම සුමට පැහැදිලි බව මම හොඳින් නිරීක්ෂණය කර ඇත්තෙමි. මා ඔබ ඇමතුවේ ද ඊට වෙනස් ආකාරයකින් නොවේ. කෙසේ වුව ද අපගේ මේ ‘ප‍්‍රමෝෂන්ස්’ අප තොරොම්බල් කරන්නේ මස් කටුවකට ඉව අල්ලමින් ඉබාගාතේ යන සුනඛ රැළක් පරිද්දෙන්, වැඩි මුදල් ප‍්‍රතිශතයක්, වැඩි පොළී අනුපාතයක් කෙරෙහි ඇස්කන් දල්වා සිටින්නවුන්ගෙන් පිරුණු සමාජයකට ය. ‘ඉල්ලුමට සැපයුම’ යනු ආර්ථික විද්‍යාවේ ද සිද්ධාන්තයකි.

ඔබත්, ඔබේ මවත් අපගේ ව්‍යාපාරික ආයතනය වෙත සපැමිණි ඒ සිහි කටයුතු දිනය මට කෙසේවත් අමතක කළ හැකි නැත. ඔබට සාකල්‍යයෙන්ම සරිලන ඒ සුදු සල්වාර් ඇඳුමේ රතු ශෝලය මගේ කම්මුල් ස්පර්ශ කරනු මට දැනුණේ ඔබ එතරම් ම මට සමීපව සිටි හෙයිනි. පෝරමය පුරවද් දී ඔබට සහාය වනු පිණිස මම ද ඔබට ඉතා ළංව සිටියෙමි.

ඔබ වෙතින් වහනය වූ කපුරු පෙති සුවඳ මා තුළ නැවුම් හැඟුම් දැනවූවේ ය. පෝරමයේ ‘සිවිල් තත්ත්වය’ යනුවෙන් ලියැවී තිබූ කොටුව මත පෑන් තුඩ තබා ගත් වන ම ඔබ මා දෙස යටැසින් බැලූ මොහොතේ මා තුළ හටගත් සසලවීම මේ මොහොතේ දී ද මට දැනෙයි. ‘විවාහක ද? අවිවාහක ද? කියන එක ඔතන ලියන්න’ යි මා කීවේ ඔබේ ගැටලුවට විසඳුමක් වශයෙනි. පැහැදිලි අත් අකුරින් ‘අවිවාහක’ යැයි ලියූ ඔබ යළිත් වරක් නෙත් කොණින් මා දෙස බලා නැඟු මන්දහාසය ද ස්මාරකයක් මෙන් මගේ මතකයෙහි රැඳී තිබේ.

ඔබ නික්ම යාමෙන් අනතුරුව මම හුදකලා වීදුරු කාමරයේ කැරකෙන පුටුවේ දෝලනය වෙමින් සැලකිය යුතු වේලාවක් දිය කර හැරියෙමි. ඔබ මා වසඟයට ගත් අයුරක් නැතහොත් මා ඔබට හසු වූ බවක් මට හැඟුණේ ය. මගේ ව්‍යාපාරික කුරුමානම, වැරදුණු කුරුමානමක් වූයේ කෙසේ දැයි මම විමතියෙන් සිතුවෙමි.

ඔබ වැනි යුවතියන් සිය ගණනින් මා වෙත පැමිණෙමින්, මා අදහමින්, මා හමුවේ පෝරම පුරවා දී ඇති මුත්, ඒ කිසිවක් ව්‍යාපාරික ගනුදෙනුවෙන් ඔබ්බට මා ගෙන ගියේ නැත. සටකපට ලෙස මිනිසුන් රවටා මුදල් වංචා කිරීමේ කිසිදු අපේක්ෂාවක් මා වෙත නො වූ බව අවධාරණයෙන් ම පැවසිය යුතුව තිබේ. වසරකට පසු ඔබේ තැන්පතුව ද ආකර්ෂණීය පොළී මුදලක් ද සමඟ ඔබ අත්පත් කිරීමේ අවංක වුවමනාවක් මා වෙත වූ අයුරින්ම ඒ පිළිබඳ කිසිඳු සැක සංකාවක් ද මා වෙත නොවිණ.

එහෙත්...?

ජීවිතයට කණකොකා හැඬුවේ ඉන් අනතුරුව ඔබේත් මගේත් ආදරයට අරුණලු උදාවෙමින් තිබියදී ය. අප සැමගේ කන් අඩි දෙදරවා ලු ඒ කර්‍ණකටුක කණකොක් සංධ්වනියේ වාද්‍ය වෘන්දය මූල්‍ය සමාගමට කෙටූ ඒ කණකොකාගේම ය. මම බියෙන් සලිතව සිටියෙමි. සැකබිය විසින් මට පේ‍්‍රමය අමතක කරලනු ලැබුවේ ය.

‘ඔයා දැන් හරියට වෙනස් වෙලා. ඇයි ශෂී මොකක් ද ඔයාට වෙලා තියෙන්නේ?යි ඔබ ඇසුවේ මගේ ඒ විපර්යාසය ඔබට ඉතා හොඳින් සන්නිවේදනය වී තිබූ හෙයිනි. සති අන්තයෙහි පැවැත්වුණු ඔබේ යහළුවන්ගේ පි‍්‍රයසම්භාෂණ දෙක තුනක්ම මට මඟහැරී ගියේ මේ අවිනිශ්චිත වාතාවරණය තුළ මා මුළුමනින්ම හෝන්දු මාන්දු තත්ත්වයකට පත්ව සිටි බැවිනි. හෙට හෝ අනිද්දා ශුභදායක වාතාවරණයක් අපේක්ෂාවෙන් සිටිය ද, මා රඟදක්වන්නේ දිය සිදෙන තුරු ගං ඉවුරේ බලා සිටි කොකාගේ භූමිකාව බව මට නුදුරු දිනකින්ම පසක් වූවේ ය.

මුල් අවස්ථාවේදී නම් මට සිතුණේ මෙය එක්තරා ශිශිර තරණයකියි කියා ය. ශිශිරයේ හිමෙන් වැසී යන පරිසරයේ රතු එළියට බියෙන් ඇතැම් කුඩා සතුන් පොළොවේ කුඩා වළවල් කැණ ඒ තුළ රැඳී සිටින බව මා අසා තිබේ’ ඔවුන් එසේ සිටින්නේ හිමපතනය පහ වී හිරු උදාවන තුරු ය. ජීවිතයට උණුසුම රැගෙන එන හිරුගේ කිරණ නුදුරු දිනක ගහ කොළවල මල් පුබුදුවන බව ඔවුහු දනිති.

ඔවුන් එහි රැඳී සිටින්නේ ඒ බලාපොරොත්තුවත් සමඟ ය. මා මෙහි පැමිණියේ ද බලාපොරොත්තුවකින් තොරව නො වේ. එහෙත් අප ඉදිරියේ පැවැති ආගාධය දවසින් දවස වඩ වඩා විවර වෙමින්, ගැඹුරු වෙමින් පවතී. මූල්‍ය අර්බුදයේ ගිනිසිළු මුළුමහත් ලෝකය පුරාම ජීවිත ගණනාවක් දවමින් තවමින් බුර බුරා නැඟෙමින් තිබේ. මකරෙකු අප ගිල ගනිමින් ඇති බව මිස කළ යුතු දෙයක් පිළිබඳව අපි දැන නො සිටිමු.

මා මූල්‍ය ආයතනයෙන් පිටව ගියේ පැදුරටත් නොකියා ය. දස බිම්බරක් මාර සේනාවෝ මා ලුහුබඳිමින් සිටියහ. මිනිසුන්ගේ දෙස් දෙවොල් අවලාද මැද මම බියෙන් පලා යමින් සිටියෙමි. මහ ගස්, ගල් කුළු, යකඩ කඳන් හැකිළී බිමට සමතලා කිරීමට තරම් බලයක්, ජවයක්, ජලයෙහි ඇති බව ‘සුනාමිය’ එනතුරුම අප කිසිවකු දැන සිටියේ නැත. ජවසම්පන්න වූ ජනකාන්ත මූල්‍ය ආයතනයක් මෙසේ අඩපණව, බෙලහීනව යා හැකි බවක් අපි ද දැන නොසිටියෙමු. සැබැවින්ම එය අප සියලු දෙන වෙත කඩාපාත් වූ සුනාමියක් ම මිස අන් කිසිවක් ම නොවේ.

මා මගේ ජංගම දුරකථනයේ අංකය වෙනස් කළේ ඔබ මගහැරීමට යැයි සිතීම මුළුමනින්ම වැරදි සහගතය. මා රැකියාවට ආයුබෝවන් කීවේත්, පදිංචිය වෙනස් කළේත්, දුරකථනයේ අංකය මාරු කළේත් මගේ රීරිමාංශ ඉල්ලා හඹා එන ගනුදෙනු කරුවන් ගෙන් හිස බේරා ගැනීමට ය. සියල්ල සමඟ මට ඔබ ද අහිමි වන බව ඒ වන විට මම ඒකාන්ත වශයෙන් දැන සිටියෙමි. මගේ සිත් වේදනාව කිසි විටකත් කඳුළු බවට පත්වූයේ නැත. නැතහොත් කඳුළු සලන්නට තරම් විවේකී පරිසරයක් මා වටා නිර්මාණය වී නො තිබිණ. කෙසේ වුව ද බංකොලොත් වුණු, කඩා වැටුණු මූල්‍ය ආයතනයක ගනුදෙනුකරුවන් මෙන්ම එහි කාර්ය මණ්ඩලයේ බහුතරයක් ද මුහුණ පාන්නේ එකම ආකාරයේ ඉරණමකට ය.

හිතාදර රිෂී, යළිත් වරක් ඔබට ඉතා ආදරයෙන් කියමි. මා මෙම මූල්‍ය ආයතනයේ රැකියාවට බැඳුණේ උදාර වූ අපේක්ෂාවකින් මෙන්ම අචල වූ විශ්වාසයකින් ද යුතුව ය. එය වූ කලී ඔබ මෙම ආයතනය හා ගනුදෙනු කරද්දී ඔබ තුළ වූ විශ්වාසයෙන් පරිබාහිර වූවක් නො වේ. මේ විශ්වාසයන් අතරේ කිසිදු වෙනසක් ඇත්තේ නැත. තුන්කල් දක්නා ඉසිවර නුවණක් ඔබ අප සතු වූයේ නම් මේ උගුලෙන් අපට ගැලවී ගත හැකිව තිබිණ. එහෙත් එකම මකුළු දැලක පැටලුණු කුඩා කෘමී සතුන් දෙදෙනෙකු බවට පත්ව සිටින ඔබ මෙන්ම මා ද මේ මොහොතේ රැඳී සිටින්නේ පැමිණිලි කරුවන්ගේ පාර්ශවයේ ය. එහෙත්...? අවාසනාවක මහත! මම දං ගෙඩියට නියම වී සිටිමි. දෙකොන මාරු වූ සමාජයක පැමිණිලිකරුවන් විත්තිකරුවන් බවට පත්වීමේ සම්භාවිතාව කෙතෙක් දැයි සිතනු මැනවි.

මගේ වගතුග, මා සිටින තැන හෝ අඩු තරමින් මේ ඉසවුව ඔබට පැවසීම නිශ්ඵලය. ඒ, හිමපතනය පහවී ගිය කලෙක හෝ පුනරුත්ථාපනය කළ හැකි කිසිවක් අප අතරේ ඉතිරිව නො මැති හෙයිනි. එක්තරා අවදියක ඔබත් මාත් බැඳී සිටියේ ආදරයෙන් ද, යන්න පවා දැන් මට ප‍්‍රහේලිකාවකි. ඒ තත්ත්වය නිර්වචනය කළ යුතු වන්නේ ‘ආදරය’ වශයෙන් නම් වියරු ආත්මාර්ථකාමයට දිය යුතු තවත් නමක් ලෙස ‘ආදරය’ හැඳින්වීමට මට සිදුවෙයි. මං පහරණ සොරකු ලෙස ඔබ මා දුටුවේ ද මේ වියරු ස්වභාවය නිසාම ය.

මා ඔබට ලබා දී ඇත්තේ සංස්ථාපිත ආයතනයක මුද්‍රාව සහිත ස්ථිර තැන්පතුවකි, සහතිකයකි. ඒ මුදල පිළිබඳ වගකීම දරන්නේ ආයතනය බවත්, එය කිසියම් තනි පුද්ගලයකුගේ සාක්කුවට වැටෙන්නට ඇති අවකාශයේ අවම බවත් ඔබ දැන නො සිටින්නට හේතුවක් නැත. ඔබේ මුදල මා වංචා කළේ යැයි ලියා තබන්නට තරම් සැහැසි බවක් ඔබේ සියුමැලි ඇඟිලි තුඩුවලට කාන්දු වූවේ කොතැනකින් දැයි මම නො දනිමි. එතරම් රළු, නින්දා සහගත වදන් ඔබේ ශබ්ද කෝෂය තුළට වැද්දගෙන තිබුණේ කවර නම් අරුමයකින් ද? මා නිරතුරුවම ඔබ දැක තිබුණේ, සිහිනයේ දී පවා මට ඔබ පෙනුණේ අහිංසකත්වයේ දෙව්දුවක ලෙස ය. ඔබේ දයාන්විත ස්වරය මට සංගීතයක් ම වූවේ ය. කෝමළ රටාවකට අනුව මගේ ඇඟිලි තුඩු ස්පර්ශ කළ ඔබේ සුදුමුදු ඇතැඟිලි, දෙවියන් විසින් මවන ලද්දේ මල් පෙති පිරිමැදීම සඳහා ම යැයි මම සිතුවෙමි. මුළාවක තරම!

අනෙක් අතට සිදු වී ඇති සියල්ල සම්බන්ධයෙන් ඔබට පමණක් වරද පැටවීමට ද මට හැකියාවක් නැත. මේ වූ කලී සමස්තයේ ම පොදු ස්වභාවයයි. හොඳ - නරක, වැරැද්ද - නිවැරැද්ද, වැරැදි කරුවන් - නිවැරැදි කරුවන් තෝරා බේරා විසඳ්‍ර ගැනීම සඳහා කාලය මිඩංගු කිරීමට තරම් හෝ ඉසුඹුවක්, විවේක බුද්ධියක් මෙකල මිනිසුනට නැත. ඔවුහු ක්‍රෝධයෙන් ගිනිගෙන සිටිති. මහමඟ සිදුවන වාහන අනතුරක දී මිනිසුන් කි‍්‍රයා කරන පොදු ස්වභාවය මීට සිදසුන් ය. අනතුර සිදුවූයේ කෙසේ ද? කාගේ වරදින් ද? යි සොයා බැලීමට හෝ ඔවුහු පමා නො වෙති.

ඒ, අනලස්ව සපුරාගත යුතු බලාපොරොත්තු සමුදායක් ඔවුනට ඇති බැවිනි. ඔවුනගේ ජීවිතවල ආදර්ශ පාඨය වී ඇත්තේ ‘වැඩි මුදලක්, ලොකු පොලියක්’ ය.

මෙවැනි වාතාවරණයක් තුළ ආදරයට හා විවාහයට කවර නම් වටිනාකමක් හිමිවන්නේ ද? සැබැවින් ම ජුගුප්සාජනක ආර්ථික හුවමාරුවකට වැඩි කිසිවක් එහි පැවතිය හැකි ද?

නො කළ වරදකට වන්දි ගෙවන්නට, සුසුම්ලන්නට, සැඟවී සිටින්නට මට සිදුව ඇත්තේ කවර නම් හේතු සාධක මත දැයි සිතා ගන්නට වෙර දරමිනි. මා දැන් පසුවන්නේ, මා සිටින මේ ඉසවුව ‘ලෝකාන්තය’ දැයි මම නො දනිමි. මෙය නිර්නාමික ලෝකාන්තයකියි මට සිතෙන්නේ බඹයක් පමණ ඔබ්බෙන් පිහිටි බෑවුම එතරම්ම ගැඹුරු වන නිසා ය. බෑවුමට හිස නැඹුරු කළ විට අඳුර විනා අන් කිසිවකුත් නො පෙනෙයි. මේ දිනවල දැඩි සීතලයක් නො පවතින නිසා එළිමහනේ රැඳී සිටීම එතරම් ම දුෂ්කර නැත.

ආදර රිෂී, අපේ ආදරය බිඳ වැටෙන්නට මුල් වූයේ මූල්‍යායතනයේ බිඳ වැටීම ය. ඒ ආදරය ද මූල්‍යමය ගනුදෙනුවක් වූ නිසා ය. ඉර බැසගෙන යන යාමේ දොළ පහරක මුනුමුනුව අසමින් මීදුමින් බොඳ වූ පරිසරය සිසාරා නෙත් යොමු කරන මේ මොහොතේ මා තුළ බොහෝ සිතුවිලි පහළ වෙයි. ලෝකය, සමාජය අප කෙතරම් නම් මුලා කර ඇද් දැයි මට සිතේ.

අපේ පරමාදර්ශ , සාරධර්ම, ගුරුවරුන් අපට මග වරද්දා ඇද් දැයි මම සිතමි. ‘රාජකාරිය දේවකාරියටත් වඩා ලොකුයි’ යනුවෙන් කුඩා කල මා හමුවේ මන්තරයක් මෙන් මතුරා ඇත්තේ මගේ පියා ය. එකල ඔහු ඉතා කැපවීමකින් යුතුව රාජකාරියේ නියැළුණ රජයේ සේවකයෙකි. මේ මන්තරය ඔහු මට දුන්නේ ඒ පිරුළු, රුවන්වැකි සර්වකාලීන යැයි එදා ඔහු සිතූ නිසා ය. එහෙත් ඔහු වැරදි ය. සියලු පඩිවදන්, රුවන්වැකි, පිරුළු කාලානුරූපව විපරිණාමයට පත්වෙයි.

මා එසේ කියන්නේ මා ද රාජකාරිය දේවකාරිය මෙන් තැකූවකු වන නිසා ය. මට ද වැරදුණේ එතැන ය. ආයතනික අරමුණු වලට අනුකූලව විනය ගරුකව, නීති ගරුකව රාජකාරියෙහි නියැළෙන්නට මම සැමවිටම වෙර දැරුවෙමි. මූල්‍ය කළමනාකරුවකු වශයෙන් මවිසින් අනුගමනය කළ යුතු නීතිරීති පද්ධතියක් පැවැති අතර මූල්‍ය ආයතනයේ ප‍්‍රාග්ධනය තර කිරීම එහි ළා මූලික වූවේ ය. මම ඒ සඳහා නො මඳ වෙහෙසක් දැරුවෙමි. අවනත බව, පක්ෂපාතිත්වය, මට කාන්දුව තිබුණේ මගේ පියාගෙනි. එහෙත් මේවා කලියුගයට බිහිසුණු ය. අකැප ය. ‘රාජකාරිය දේවකාරියටත් වඩා ලොකු ය’ යන පිරුළ මෙකල ප‍්‍රහසනයකි.

කුමක් වුව ද දැන් සියල්ල අවසන් ය. තවදුරටත් ඔබට කියන්නට යමක් මට ඉතිරිව නැත. එහෙත් ඔබ මට අලුත් දැක්මක් ලබා දී ඇති බව නම් නො මසුරුව පැවසීමට මම මැළි නො වෙමි. එය ඉතා දුර්ලභ වූ දැක්මකි. මේ මොහොතේ මා කවුළුවෙන් හාත්පස නරඹමින් සිටින්නේ වියසිදුරින් අහස දකින කණ කැස්බාවකු ලෙස යැයි මට හැඟෙන්නේ ඒ නිසා ය. දැන් සැඳෑ මීදුම පරිසරය බොඳකර අවසන් ය. එහෙත්, මිහිදුම විසින් වසා ගනු ලැබූ ගහකොළ හා ශාක පත‍්‍රවල හරිත වර්ණය ඇති සැටියෙන් ම මට පෙනෙයි. අරුමය නම් ඒ ය. විනිවිද දැකීමේ අහඹු ශක්‍යතාවක් මගේ දෑසට ලැබී ඇද් දැයි නො දනිමි. මේ හිම පතනය නිම වුණත් නො වුණත් දැන් මට එතරම් වෙනසක් නැත්තේ ද ඒ නිසා ය. මගේ බලාපොරොත්තු ප‍්‍රාර්ථනා ඉතා අල්ප ය. අවසන් වශයෙන් මා ඔබට පවසන්නේ ඒ අල්ප වූ පැතුම් අතරේ වන එකම එක් පැතුමක් පමණකි.

‘ඔබට තෙවැනි ඇසක් පහළ වේවා!’

(මේ යාන්ති‍්‍රක ජීවිත වල ‘යථාව‘ දකින්නට නම් තුන්වැනි ඇසක් වුවමනා ය.)

මා ඔබේ විශ්වාසී
ශෂීන්ද්‍ර විජයපතිරණ
(හිටපු මූල්‍ය කළමනාකරු)

https://archives.silumina.lk/punkalasa/20090712/_art.asp?fn=ar0907122

Nissanka Rajapaksa

unread,
Apr 12, 2024, 8:32:12 PMApr 12
to INDRAKA group
11
බොරු කකුල් 


සුනිල් ගුණවර්ධන

හළයේ උළු කැට එකිනෙක බිමට බෑවෙයි. කම්කරුවෝ යුහුසුලුව වැඩ කරති. උළු සියල්ල ඒ සමීපයේ නවතා ඇති ට්‍රැක්ටරයේ ටේරලයෙහි අඩුක් කෙරේ. එහෙත් ඒවා පැටවීම විනා නොබිඳ බේරා ගැනීමේ අවශ්‍යතාවක් නොපෙනේ.

දින දෙකක් ගතවෙද්දී වහළය සම්පූර්ණයෙන් ම ඉවත් වී බිත්ති පෙරළන්නට පටන් ගෙන තිබිණ. කඩා බිඳ දමන කිසිවක් එහි නො තබා, ට්‍රැක්ටර්වලින් රැගෙන යනු අසල්වාසීන්ට දක්නට ලැබිණ. නොබෝ දිනකින් පිරිසිදු කරන ලද පර්චස් විස්සක ඉඩම් කැබැල්ලක් මෙහි ඉතිරි වනු ඇත.

මේ කඩා ඉවත් කරන්නේ නුගේගොඩ ජම්බුගස්මුල්ලේ සාන්ත ජෝසප් පාරෙහි වසර ගණනාවක් පැවැති නිවසකි. එය සරණපාල ගේ හා නැන්සිනා ගේ වාසස්ථානය යි. නිවස එපමණ විශාල වූවක් නොවේ.

පැත්තක ගව මඩුවක් විය. තවත් පසෙක වූයේ කුකුල් කූඩුවකි. ගව මඩුවෙහි එළදෙන හෝ පැටවකු දක්නට ලැබුණේ කලාතුරකිනි. ඌ වැදූ සැණින් කිරට දීම ඔවුන්ගේ සිරිත විය. එළදෙන තබාගෙන පැටවුන් විකුණා දැමීම ද මොවුන් ගේ සිරිත විය. සතුන් ඇති කිරීමට තරම් වූ බිම් කඩක් නොවීම ඊට හේතු වන්නට ඇත.

සරණපාල කොත්තමල්ලි වෙද මහත්තයා ගේ බාල පුතණුවන් ය. කොර්නේලිස් නම් වූ මොහු ගේ පියා කොත්තමල්ලි වෙද මහත්තයා ලෙසින් වඩාත් ප්‍රකට වූයේ ඔහුගේ හැම කසායකට ම නොවැරදීම කොත්තමල්ලි ඇතුළත් වී තිබුණු හෙයිනි. සරණපාල ගේ මව සිරිපිනා ය. ඇය මිද්දෙණිය පැත්තේ ගැහැනියකි. නුගේගොඩ සරණපාල ගේ පියා උපන් ග්‍රාමයයි.

සරණපාල පාසලෙන් කට්ටි පැන්නේ ය. නරක ආශ්‍රයට ම ගියේ ය. පියා හෘදයාබාධයකින් මිය ගියේ ද ඔහුගෙන් ලද පීඩා හේතු කොට ගෙනම ය. සිරිපිනා බාල පුතු හේතු කොටගෙන නො විඳිනා දුක් වින්දා ය.

ආරච්චි නම් ප්‍රදේශයේ ප්‍රසිද්ධ දාමරිකයකු හා සම්බන්ධ වූ සරණපාල ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක සැකකරුවෙක් විය. වසර ගණනාවක් රිමාන්ඩ් භාරයේ පසු වූ ඔහු දහතුන් අවුරුද්දක සිරදඬුවමකට යටත් විය. සැබවින් ම මේ නිසා සිරිපිනාට වැදගත් තැනැත්තෙකුට සිය එක ම දියණිය විවාහ කර දීමේ ගැටලුවට මුහුණපෑමට ද සිදුවූවා ය.

හිරෙන් නිදහස් වූ සරණපාල අලුත් ලොවකට පිවිසුණා සේ විය. සිරගෙදර බිත්ති ඇතුළත විනා, පිටස්තර සමාජය ඔහුට නුහුරු නුපුරුදු එකක් විය. එයට හැඩ ගැසීමට ද කලක් ගත විය. හිරෙන් එන විට ඔහුගේ හමෙහි පැහැයෙහි ද අමුත්තක් පෙනුණි.

 පසුව කොතරම් යහපත් වුවත්, සිරගත වූවෙකුට සමාජය හොඳින් සලකන්නේ නැත. ජීවත්වීමේ මඟක් ගැන සිතු සරණපාල කාර් බ්‍රෝකර් කෙනෙකු විය. යම් යම් අයට ගෙවල් ඉඩම් සොයා දීමට වෙහෙසුණේ ය. ඒ රැකියාව අනුව ඔහුට එක තැන හිඳීමක් නම් නොවීය.

සුදු සරමකින් හා කමිසයකින් සැරසුණු ඔහු නිතර නුගේගොඩ මංසන්දියේ ශ්‍රී කාන්තා හෝටලය අසළ ගැවසෙනු දක්නට ලැබුණි. හිඳ හිට සිගරැට්ටුවක් මුවෙහි රැඳුණත්, ඔහු කිසි දිනක මත්පැන් පොදක් තොල ගෑවේ නැත.

හන්දියෙහි රැස්වන තරුණයන්ගේ ලොව ඔහුගේ ද ලෝකය විය. කන්දවත්තෙ සෝමෙ, පාගොඩ සනා, නුගේගොඩ කොළඹගේ නිතර ඔහු වටා ගැවසුණු සහචරයෝ වූහ. එහෙත් ඔහු නැවත වැරදි වැඩවලට පෙලඹුණේ නැත.

අන් අයව ද එයින් මිදවීය. පසු කාලයේ දී ඔහු කෙතරම් යහපත් වීදැයි කිවහොත්, ඇතැම් දෙමව්පියෝ සිය දරු දැරියන්ට අවවාද දීමට ද ඔහු යොදා ගත්හ. එයින් සරණපාල මගුල් කපුකම් කිරිමට ද වැටුණේය. ඔහුගේ කපු ගාස්තුව විවාහයෙන් අනතුරුව නිදහසේ ගෙවිය හැකිවූ අතර, එය දැරිය නොහැකි මුදලක් වූයේ ද නැත. එහෙත් සරණපාල වැරදි වැඩ නොකෙරුවා ම නොවේ.

ෆිනෑන්ස් කොම්පැණිකාරයෝ මොහු ව සොයා පැමිණියහ. තමන්ට අය විය යුතු මුදල් නොගෙවා පරිහරණය කරන වාහන පැහැරගෙන, තමන් වෙත ලබාදෙන ලෙස ඉල්ලා සිටියෝ ය. එම ඉල්ලීම් ප්‍රතික්ෂේප නොකළ මොහු උපක්‍රමශීලී ව ඒ කටයුත්තෙහි නිරත වූ අවස්ථා තිබිණ. අනුරාධපුරයේ එක්තරා මංසන්ධියක කුලී පිණිස යෙදවූ වෑන් රථයක් රැගෙන ඒමට ඔහු ඉදිරිපත් විය.

එහිදී ඔහු පළමුව කළේ නුගේගොඩ මංසන්ධියට නිතර පැමිණෙන ගණිකාවක කැමති කරවාගෙන අනුරාධපුරය බලා පිටත්වීමයි. තමන් දෙදෙනා බස් රථයකින් වන්දනා කිරීම උදෙසා අනුරාධපුරයට පැමිණියත් ගෙදරින් හදිස්සි පණිවිඩයක් ලැබුණු නිසා කෙසේ හෝ කොළඹ යා යුතු යයි පැහැර ගැනීමට නියමිත වෑන් රථය සොයා රියදුරාට පැවසීය. එහිදී කිසිදු සැකයක් ඇති නොවන පරිදි රඟපෑමට ඔහු ගණිකාවට උගන්වා තිබුණි.

ගණන් මිනුම් කතා කොට රථයට ගොඩ වී විවිධ තොරතුරු විමසමින් කොළඹට ළඟා වූහ. දහවල් දහයට පමණ පිටත් ව පැය පහක ගමනකින් තිඹිරිගස්යායට පැමිණි විට, වාහනය ගේට්ටුවකින් ඇතුළු කිරීමට ඔහු නියෝග කළේ ය. ආරක්ෂක නිලධාරියාට ගේට්ටුව වසන්නැයි පැවැසූ ඔහු තමන්ට පොරොන්දු වූ මුදල රැගෙන පසුපස දොරටුවෙන් ගණිකාවත් සමඟ පිට විය. තමන්ට සිදු වූයේ කුමක් දැයි රියදුරා වටහා ගන්නා විට සරණපාල සිටියේ ඊට සැතපුම් ගණනාවක් ඈතිනි.

නැන්සිනා සරණපාල ගේ ඇසෙහි ගැටුණේ පැලැන්වත්ත ප්‍රදේශයේ ඉඩම් බ්‍රෝකර් වැඩක් කරන්නට ගිය පසුව ය.

“විජේපාල මහත්තයලගෙ ගෙදරට යන්නෙ කොහොමද? රබර් ඉඩමක් සොයන්නා සමඟ මෝටර් රථයෙන් ගමන් කළ සරණපාල කුඩා නිවසක් අසළ රථය නවතන ලෙස පවසා, එක්තරා මහලු තැනැත්තෙකුගෙන් විමසීය. එකවර ඔහුට පිළිතුරු දීමට නොහැකි වූ විට තරුණියක නිවසින් පිටතට ආවා ය.

“ඔය හොයන්නෙ රබර් විජේපාල මහත්තයලගෙ ගෙදර වෙන්ඩ ඕන.”

“කොළපාට ලාන්සර් කාර් එකක් තියෙන්නේ. ටිකක් තට්ටේ තියෙන, කණ්ණාඩි දාන මහත්තයෙක්.”

“ලාන්සර් ද? බ්‍රාන්සර් ද? කියන්න අපි දන්නෙ නෑ. කොළ පාට කාර් එකක් නම් තියෙනව. ඔහොම යනකොට ලොකු තාප්පයක් දාපු, ලොකු ගේට්ටුවක් හයි කරපු වත්තක් දකුණු පැත්තෙ තියෙනව. එහෙන් ගිහින් අහන්න,”

තරුණියගේ හඬ සැර පරුෂ ය. කිසිවෙකු ගණන් නොගන්නා එකියක බව පෙනේ. ඇය හීන්දෑරි ය. පමණට වඩා උසය. කොණ්ඩය පීත්ත පටියකින් බැඳ දිගට දමා තිබේ. තැඹිලි පාට මල් වැටුණු ගවුමකින් ඕ සැරසී සිටියා ය.

 මුහුණෙහි සිනහවක් නම් නැත. පියයුරු ආදියත් එපමණ වැඩී නොතිබුණි. එහෙත් ඇගේ ඡවි වර්ණය සරණපාල ගේ දෑසින් ඇතුළු වී සිතෙහි ඇලුණේ ය. ඇය රූමත් ය යන හැඟීම ඔහුගේ සිතට පිවිසියේ ය. සිරගෙට යාමට පෙරාතුවත් ඉන් පසුවත්, ගැහැනුන් ඉදිරියෙහි නොසැලුණු ඔහුගේ සිත මැය මොහොතකට පැහැර ගත්තේ ය.

“මොකද ඔච්චර සැර බොහොම ඉස්තූතියි අපි ගිහිං එන්නං” සරණපාල ගෙන් කියැවිණි.

“මගේ සැරෙන් කාටවත් වැඩක් නෑ. ඒක මං ළඟ. පාර කිව්වනෙ. දැන් යන්න.” ඕ තවත් සැර පරුෂ වූවා ය.

රබර් ඉඩම අවශ්‍ය තැනැත්තාට ලබාදෙන අතරවාරයේ සරණපාල නැන්සිනාව ලබා ගැනීමට කටයුතු පිළියෙළ කර ගත්තේ ය.

නැන්සිනා සරණපාලට වඩා අඩි එක හමාරක් පමණ උස ය. අත පය ද දිගු ය. ඇඟිලි සරණපාලගේ මෙන් දෙගුණයකටත් වඩා දිගු ය. හිටගෙන කතා කරද්දී ඔහුට උඩ බලන්නට සිදු විය. කටුවට වහල්ලට නැතැයි ද, පාලනය කර ගැනීමට පහසු නොවෙතැයි ද ඇතැම් විට ඔහුට අවබෝධ විය. නමුත් සරණපාල ගේ දෙපා නිතර නිතර නැන්සිගේ නිවස සොයා ඇදෙන්නට විය. ඔහු ගේ පැණි හැළිය පැලන්වත්තේ ම විය.

“ඔන්න පැලන්වත්තෙ පැණි හැළියෙ ඇඹලයා එනවෝ” යැයි ඔහු ගේ වෙනස දැනගත් කොලු රැළ කෑගසන්නට වූහ.

නැන්සිනාගේ දෙමව්පියෝ පොළවල් වල ගොස් එළවළු පල වැල විකුණා ජීවත් වූහ.. ඇගේ සොහොයුරන් දෙදෙනා ම ගව පාලනයෙන් ජීවත් වූහ. පවුලේ කිසි අයෙකුට මනා උගැන්මක් හෝ ආර්ථික ශක්තියක් තිබුණේ නැත.

“පුතේ උඹට පැලන්වත්තෙ වට්ටි අම්මලයි හරක් හොරුයි නැතුව, ගෑනියෙක් හොයා ගන්න තැනක් නැද්ද? මේ අක්කයි අයියල දෙන්නයි ගැන උඹ දැන්වත් හිතන්නෙ නැද්ද? අනුන්ට උපදෙස් දෙන්න දන්නව. තමන්ගෙ වැඩක් හරියට කරගන්න දන්නෙ නෑ.”

නැන්සිනා හා සිය බාල පුතණුවන් ගේ සම්බන්ධය දැනගත් සිරිපිනා සරණපාලට දොස් නැඟුවා ය. නමුත් වැඩිදුර එළවමින් යමක් කියන්නට ගියේ නැත.

සරණපාල නැන්සිනා ව කැඳවාගෙන විත් තුන් මාසයක් යන්නට පෙරාතුව ඇය සියල්ලන් සමඟ ගැටුම් ඇති කර ගත්තා ය. මුලින් ම කළේ පුතු සමඟ සිටි නැන්දනිය ව ගෙයින් එළියට දැමීමයි.

“නාකිච්චි තෝ” මේකෙ හිටියොත් අපිට වසන්න වෙන්නෙ නෑ. බැහැපිය පර බැල්ලි. තෝ ඕන අහක පළ. තොගෙ පුතාට මෙහෙ එන්ඩ ඉස්සෙල්ල මං කියල ආවෙ. තෝ මට පාට් දාන්ඩ ආවොත් කෙස් වල්ලෙන් අල්ලල දොට්ට දානව කියල.”

‘බොරු කකුල්... බොරු කකුල්... කාලකණ්ණි ගෑනි. මගේ එකා මොකට තෝව කැන්දන් ආවද දන්නෙ නෑ. බලහන්කො මේකිට පපුවක්වත් තියෙනවද කියල. මට්ටන් ලීය තියල යතු ගෑව වගේ යකෝ. සුමානෙකට සැරයක් වත් නාන්නෙ නෑ. ගඳ ගහනව. ඌ කොහොම උඹ ව ළඟට ගන්නව ද මන්ද?”

සිරිපිනා වත්ත පහළ නිවසෙහි පදිංචිව සිටි සිය දියණිය වෙත ගියා ය. එහෙත් පුතු ගැන කම්පාවෙන් පසු වූවා ය.

“මං ළමයි වදන්නෙ හදන්නෙ නෑ. මට ගෑනියෙක් උණා ම හොඳට ම ඇති.” නැන්සිනාට දරුවන් නොමැතිවීමේ හේතුව ද ටික දිනකින් හෙළි විය. මේ ඇය කැන්දන් ඒමට පෙරාතුවම සරණපාලට පවසා තිබූ වදන් ය. ඒ නිසා කොපමණ හිතේ කැමැත්තක් තිබුණත් සරණපාලට තමන්ගේ යයි දරුවකු හදා ගන්නට වාසනාවක් නොවීය.

ඇගේ මව්පියන් හා සොහොයුරන් දෙදෙනා ද වරින් වර පැමිණ නෑදෑයින් හා අසල් වැසියන් සමඟ සමඟියෙන් කටයුතු කරන ලෙස පැවසුවත්, නැන්සිනා කවුරුන් හෝ සමඟ ගැටුමක් ඇති කර නොගත් දිනයක් සොයාගත නොහැකි ය. සණ්ඩු දබර වීමට කිසිවකු නොමැති වුවහොත් ඈ පාරෙහි ගමන් කරන අයෙකුට හෝ බැන වඳින්නට වූවා ය.

ඇතැම් අවස්ථාවක ඈ බැන වැදීමෙන් නොනැවතී පොලු කෑල්ලක් හෝ ගලක් රැගෙන කා සමඟ හෝ ගැටුම් ඇති කර ගැනීමට ගිය අවස්ථා ද විරල නැත. සිඟමන් යදිමින් හිඟන්නකු හෝ හිඟන්නියක පැමිණියහොත් ඕ පුපුරා හැලුණා ය.

නැන්සිනා සරණපාලට බැන වැදුණා පමණක් නොව බිත්තියට හේත්තු කරගෙන පහර දෙන හඬ ද ඇතැමෙකුට අසන්නට ලැබුණි. කවර දාමරිකකම් කළත් හිරේ විලංගුවේ වැටුණත් ඕ කිහිප වාරයක් ම සරණපාලගේ ඔළුව පළා තිබුණි. පැලැස්තර අලවාගෙන සිටිද්දී සිදුවූ දේ දැන සිටියත් සරණපාල ලැජ්ජාවට පත්වන බැවින් කිසිවෙක් ඒ ගැන නොවිමසූහ.

දේපළ වෙළඳ සමාගම් බිහිවීමෙන් මොහුගේ ඉඩම් බ්‍රෝකර්කමට කණකොකා හැඬුවේ ය. වාහනයක් අත්කර ගැනීමට කැමැත්තක් දැක්වූවෝ පරණ වාහන මිලට ගනු වෙනුවට ඉංග්‍රීසි අකුරක් ඇති පොඩි වාහනයක් ගැනීමට පෙලැඹුණාහ. එයින් සරණපාල ගේ කාර් බ්‍රෝකර්කම ඇන හිටියේ ය. මඟුල් කපුකම පත්තරවලට ම භාර විය. සරණපාල ගේ සුදු සරම සුදු කමිසයෙහි පැහැය බොඳවිය.

බෑගය කිහිල්ලෙන් ඉවත් වෙද්දී සෙරෙප්පු දෙක දෙපයින් ගැලවී එය නිරාවරණය විය. එළදෙන කිරට දීමෙන් හෝ පැටියකු විකුණා ගැනීමෙන් දිවි ගැට ගසා ගැනීම අපහසු වෙද්දී දෙදෙනා අතර ආරවුල් තවත් උත්සන්න විය.

උපකාරක පන්ති පැවැත්වීමෙන් ධනපතියකු බවට පත් වූවෙක් ඔවුන් ව සොයා නිතර නිතර, යන්නට එන්නට විය. ඔහුගෙන් මුදල් රැගෙන තවත් කාලයක් ජීවත්වී ඔහුට ම ගේ ඉඩම විකුණා සරණපාල සමඟින් නැන්සිනා කාටත් හොරා රාත්‍රියක ලොරියක බඩු පටවාගෙන ගමෙන් පිට වූවා ය. අවුරුදු ගණනාවක් පුරා අහල පහල විසුවෝත්, පාරෙහි යන එන්නෝත්, කරදරයකින් ගැලවුණහයි සිතූ බව නිසැකයහ.

හෙට මෙහි තට්ටු කිහිපයකින් යුතු විශාල ගොඩනැඟිල්ලක් ඉදිවෙයි. ඇමෙරිකාවේ ගොවි පළක නම හෝ සුමඟ යැයි දරු දැරියන් නොමඟ යන තැනක් බිහිවෙයි. නවීන සුඛෝපභෝගී වාහන පාර දෙපසෙහි ම නවතා තිබෙනු දැකීමට ඉඩ හසර ලැබේ.

තාප්ප බිත්ති වෛවර්ණ පෝස්ටර් වලින් වැසී යයි. පෞද්ගලික බස් රථ රියදුරෝ කොන්දොස්තරවරු මුස්ලිම් රෙදි වෙළෙන්දෝ භික්ෂූන් ලෙස සිවුරු පොරවා ගත්තෝ ශබ්දවාහිනී විවිධ ආම්පන්න රැගෙන පාට පාට කරදාසි, පොත් මිටි රැගෙන පැමිණෙති.

නැති උපාධි ප්‍රදර්ශනය කරති. හඬ තළති. මුසාවාද හා කුණු හරුප සුළඟට මුසු කරති. ඉගෙන ගන්නවා යයි කියමින් දෙමව්පියන්ගේ දහඩිය ගෙනැවිත් මොවුනට පුද කරන තරුණ තරුණියෝ කොක් හඬලා සිනාසෙති. සාන්ත ජෝසප් පාරෙහි වාහනයකින් ගමන් කරනවා තබා පයින්වත් නිදහසේ ගමන් කිරීමට ඉඩ කඩ ඇහිරී යයි.

අවට පදිංචිවූවෝ මධ්‍යම පරිසර අධිකාරියෙහි පිහිට සොයා යති. ජනතාව පිළිබඳ වෙඩරු මෙන් උණු වූ හදවත් ඇති නිලධාරීහු පැමිණ ශබ්ද දූෂණය මැඩලීම උදෙසා ඩෙසිබල් කොතරම් දැයි ගණන් බලති. පන්තිය අයිති ධනපතියාගේ මොනරු ඉදිරියේ නිලදරුවන්ට ආපසු යාමට පාර සොයා ගැනීම පමණක් අපහසු වනු ඇත. ඇතුළත් පාපයකි. පිටතත් පාපයකි. වසරින් වසරට අනාගත පරපුරෙන් සෑහෙන ප්‍රමාණයක් සිය අනාගතය විනාශ කර ගනිති.

https://archives.silumina.lk/punkalasa/20091122/_art.asp?fn=ar0911223

Nissanka Rajapaksa

unread,
Apr 13, 2024, 9:00:42 PMApr 13
to INDRAKA group
12
ජන කතාවක් 

බෙංගාලි ලේඛක රිත්වික් ඝටක්ගේගේ කෙටිකතාවක් 


සිංහල අනුවාදය බොබි ජී. බොතේජු

ප්‍රකට පුවත්පත් කාර්යාලයක් ඉදිරිපිටට පැමිණි විශාල මෝටර් රථයක් එක්වර ම නතර විය. හරින්ද්‍රනාත් බාබු ඒ රථයෙන් බැස ගත්තේ ය. ඒ අන් කිසිවකු නොව, කීර්තිමත් ආණ්ඩුකාරයන්, දේශපාලනඥයන් වැනි අය සමඟ එකට සිට ගත් ඡායාරූප දිනපතා ම ඒ කාර්යාලයෙන් පිටවන පුවත්පතේ පළවන හරින්ද්‍රනාත් බාබුයි. ඊට හේතුව සරල ය. පුවත්පත් ලෝකයේ මෝගල් අධිරාජයා ලෙස සැලකෙන ඒ පුවත්පතේ හිමිකරු ඔහුයි. ඒ පුවත්පත ඔහුගේ ප්‍රථම ව්‍යාපෘතියයි. ඔහුගේ කීර්තියේ උල්පතයි. ඔහු මේ ව්‍යාපෘතිය ආරම්භ කර වසර විස්සක් ගතවී ඇත. අද වාහනයෙන් බැස ගත් ඔහු තරමක කලබලයෙන් පසුවන බව පෙනිණ.

ඔහු පිළිබඳ හැඳින්වීමක් කිරීමට මට ඉඩ දෙන්න. ඔහු ඉතා පැහැපත් තරබාරු සහ මිටි තැනැත්තෙකි. ඔහු දෙස බැලූ ඕනෑ ම කෙනෙකුට ඔහු අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව හැඟී යනු ඇත. ඔහුගේ මුහුණ මළානික වූවත් ශෝභමාන ය. හරින්ද්‍රනාත් බාබු තම දෝතියේ රැළි සකස්කර ගනිමින් රියැදුරාට ඒ ස්ථානයේ ම සිටින ලෙස අණකොට හිස වනමින් දොරටුව දෙසට ගමන් කළේ ය. දොරටුපාලයා කලබලයට පත්විය. ඒ ඔහු සෑම දිනක ම කාර්යාලයට නොපැමිණෙන බැවිනි. එහෙත් ඔහු පැමිණි විට පුවත්පතේ ප්‍රධාන සංස්කාරකවරයාගේ සිට බර උසුලන සේවකයා දක්වා සෑම කෙනකුට ම නැගිට සිටීමට සිදුවෙයි. හරින්ද්‍රනාත් බාබු ඔහු ව පසුකර ගෙන යන විට ඔහුගෙන් මත්පැන් සුවඳක් වහනය වනු දොරටුපාලයාට දැනිණ. එදින බොහෝ ප්‍රධානීන්ගේ වෙනසක් සිදුවන බව ඔහුට සහතික ය.

හරින්ද්‍රනාත් බාබු කෙළින් ම ගොඩනැඟිල්ලේ තුන්වන මහළට ගියේ ය. එහි සංස්කාරකවරයාගේ කාමරයට යාබද ව සංස්කාරකවරයාගේ කාමරයට අමුත්තන් කැඳවාගෙන යන පිරිමි ළමයා සහ යතුරු ලේඛකයා අසුන්ගෙන සිටින කුඩා මැදිරියක් ද විය. පිරිමි ළමයා අලුතෙන් සේවයට බැඳුණකු බැවින් හේ හරින්ද්‍රනාත් බාබු ව හඳුනා නොගත්තේ ය.

“ඔබට අවශ්‍ය මොනවා ද?” පිරිමි ළමයා උජාරු ලීලාවෙන් විමසුවේ ය. හරින්ද්‍රනාත් ඔහු ව පසෙකට තල්ලු කර දැමුවේ ය. නැඟිට සිටි යතුරු ලේඛකයාට වහා ම ඒ ස්ථානයෙන් පිට ව යන ලෙස හරින්ද්‍රනාත් බාබු නියෝග කළේ ය. “මට සංස්කාරකත් සමඟ යමක් කතා කරන්න තියෙනවා” දෙදෙනා ම පිට ව ගිය පසු හරින්ද්‍රනාත් බාබු සංස්කාරකවරයාගේ කාමරයට ඇතුළු විය. තමා එතන සිටින තුරු කිසිවකු තුන්වන මහලට නොපැමිණෙන බව හෙතෙම දැන සිටියේ ය.

සංස්කාරකවරයා සුවපහසු ලෙස තම කාර්යාලය තුළ අසුන්ගෙන සිටියේ ය. ඔහු දැන් පසුගිය වසර ගණනාවක සිටියාක් මෙන් පරමාදර්ශී වාර්තාකරුවකු නොවේ. බොහෝ අරගල සාර්ථක ලෙස ජයගත් ප්‍රකට මිනිසෙකි. ඔහුගේ රැවුල අළු පැහැ ගැනීම ඇරැඹී ඇත. කාර්යාලයේ ඔහු වැඩ කරන අන්දම නිරීක්ෂණය කරන කෙනෙකුට පෙනීයන වෙනස එයයි. වසර ගණනාවක් තිස්සේ ඔහුගේ බර උසුලන පුටුව එහි අවසානයට ළඟා වී ඇත. ඔහුගේ යෂ්ටිය එල්ලා තබන රාක්කය තවමත් එලෙස ම ඇත.

ප්‍රවෘත්ති රැස්කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කළ ඒ අපූරු පැරැණි දවස් ඒ සඳහා ගෙනගිය අරගල සිහිපත් වෙන පැරණි අත්දැකීම් මතක් වීමෙන් ඔහුගේ ඇස් දීප්තිමත් විය. හඬ නඟා දොර තල්ලු කරගෙන ඔහුගේ කාමරයට කඩා වැදුණ හරින්ද්‍රනාත් බාබු කෝපයෙන් ගිගිරුවේ ය. “ඔබ... ඔබ... මම දන්නෙ නැහැ ඔබට මොනවද කරන්නෙ කියල” හරින්ද්‍රනාත් බාබු ආචාරශීලී කතාවකට ඉඩ නොතැබුවේ ය.

දොර බලෙන් විවෘත කළේ කවුරුන්දැයි සංස්කාරකවරයා ඇස් ලොකු කර බැලුවේ ය. හරින්ද්‍රනාත් බාබු කඩා පැනීමෙන් කලබලයට පත්වූ බවට සලකුණක්වත් ඔහුගෙන් පළ නොවීය. “ඔබට කල්පනාව නැති වුණා ද? ඊයේ ලියපු කර්තෘ වාක්‍ය මොන විදියෙ එකක් ද? සොනාර්පූර් කපු කම්හල අයිති කාට ද කියල දන්නෙ නැද්ද?”

මේ කුලප්පුව මක්නිසාදැයි සංස්කාරකවරයාට අන්තිමේ වැටහිණ. හේ සන්සුන් ව පිළිතුරු දුන්නේ ය. “ආහ්! අර කර්තෘ වාක්‍ය පිටුව. ඇයි? ඒක මමයි ලිවුවෙ. නිකම් ම මුද්‍රණාලයට යැව්ව නෙවෙයි. කම්හල දැන් හොර බඩු ජාවාරම් කරන ගුහාවක් කියන එක ඇත්ත නෙවෙයි ද? තහනම් බඩු ගබඩාවක්. දැන් තියෙන වැඩ වර්ජනය ගැන කියනව නම් සේවකයෝ නිතී විරෝධි ගනුදෙනුවලට විරුද්ධයි. වෙඩි තැබීම්වලට, සේවකයන් දොට්ට දැමීම්වලට. වර්ජන කඩා කප්පල් කරන්න උපකාර කරන ඉහළ තැන්වල ඉන්න පුද්ගලයන් ගැන දැනගන්න මේ රටේ ජනතාවට අයිතියක් තියෙනව“

“ඔහෙගෙ මොළේ නරක් වෙලා ද? මොනවද මේ ඔහෙ කියන්නෙ?”

සංස්කාරකවරයා තම හඬ බාල කළේ ය. “මම අද තවත් කර්තෘ වාක්‍යයක් ලියල යැව්ව ඒකත් හුඟක් දුරට අර විදියටමයි” හේ ජනේලයෙන් පිටත බැලුවේ ය. “මම ලිව්වා බොම්බායෙ පත්තර අධිරාජ්‍යයේ කෲර පාලනය ගැන. ඒ අය පත්තර සංස්කාරකවරුන් ව නිහඬ කරන්න දරන උත්සාහය ගැන. අපට නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න තියෙන අයිතියට බාධා කරන ආකාරය ගැන මම ලිව්වා.”

“ඔහෙ...?” හරින්ද්‍රනාත් බාබුට කීමට වචන නැත. ඔහුගේ නළලේ නහර පිපිරිමට ආසන්න ය.

“තකතිරුවා” හේ පිපිරුණේ ය. සංස්කාරකවරයා තවමත් තම අසුන මත සිටිනු දුටු හේ කෑගැසුවේ ය. “ඔහෙ තාම වාඩිවෙලා ඉන්නවා නැගිටින්නවත් කරදර වෙන්නෙ නැහැ.”

සංස්කාරකවරයා ඔහු දෙස සන්සුන් බැල්මක් හෙලුවේ ය. “ඇයි ඔබතුමා වාඩි වෙන්නෙ නැත්තෙ. මේ විදියට කොයිතරම් වෙලාවක් හිටගෙන ඉන්න ද? වාඩිවෙන්න වාඩිවෙන්න ඔය පුටුවේ” තම දීර්ඝ ජීවිත කාලය තුළ සංස්කාරකවරයාගේ සිට ලිපිකරුවා දක්වා කිසිවෙක්, මේ අයුරින් හැසිරුණ අවස්ථාවක් හරින්ද්‍රනාත් බාබු මීට පෙර දැක නැත. “මම උඹ ව අස් කරනවා. උඹ ඌරා... පිටවෙලා පලයන්” සංස්කාරකවරයා යමක් කීමට සැරසෙත් ම හරින්ද්‍රනාත් බාබු ඔහුගේ වචනවලට බාධා කරමින් කෑගැසුවේ ය. “මට තව වචනයක්වත් කතා කරන්න එපා. වහා ම මේ මොහොතෙ ම පිටවෙයන්”

සංස්කාරකවරයා හෙමිහිට නැඟී සිටියේ ය. හේ උස් පුද්ගලයෙකි. ඔහුගේ කඩවසම් මුහුණේ කැලඹීමක සලකුණක්වත් නැත.

රාක්කයේ තිබූ යෂ්ටිය අතට ගත් සංස්කාරකවරයා දොර දෙසට ඇවිදගෙන ගියේ ය. මඳකට නතර වූ හේ ආපසු හැරී බැලුවේ ය. “මම දර්වාන් ව කැඳවන්න ඕනෙ ද?”

හරින්ද්‍රනාත් බාබු තර්ජනය කළේ ය. සංස්කාරකවරයා දොරේ අගුල දමා තම උපැස් යුවළ ලේන්සුවෙන් පිස දමා සාක්කුවේ රුවා ගත්තේ ය. යෂ්ටිය බිත්තියට හේත්තු - කර තම කමිසයේ දෙඅත් නවා දූවිලි ගසා දමමින් හරියට ම ගැඹුරු කල්පනාවක නිරත වෙන්නාක් මෙන් ඇස් කුඩා කර ආපසු හැරී හරින්ද්‍රනාත් බාබු දෙස බැලුවේ ය. හේ තම යෂ්ටිය අතට ගෙන සන්සුන් ව වාඩි ගත්තේ ය. “උඹගෙන් පහුගිය විසි අවුරුද්දෙ ම නියෝග ලබා ගත් මාව උඹ අද අස් කළා. ඒත් අද...”

තමන්ගේම හඬ ගැන හරින්ද්‍රනාත් බාබු සතුටට පත්විය. දැඩි කෝපයෙන් පසු වුවද ඔහුගේ ප්‍රතිකාරය ක්‍රියාත්මක ව ඇති බව පෙනිණ. මෝඩයන් උමතු වූ විට ඔවුන් ව කිසියම් නියෝගයකට අවනත කර ගත යුතු ය. නොහික්මුණු හැසිරීමට ප්‍රතිකාරය හේ දැන සිටියේ ය. අඥානයන්ගෙන් වැඩ ගන්නේ කෙසේදැයි හේ දැන සිටියේ ය. නාස් ලණුව දමාගෙන ගොන්නුන්ගෙන් වැඩ ගන්නා හැටි ගැන ඔහුට දීර්ඝ කාලීන අත්දැකීම් ඇත.

හරින්ද්‍රනාත් බාබු අප්‍රසන්න සිනාවක් පෑවේ ය. “මම දොස් ලැබිය යුතු නැහැ. උඹට මුහුණදීමට සිදුවී ඇති අසීරුතාවට හේතුව උඹගේ ම මොට්ටකමයි. උඹගෙ සහජ හැකියාව නැතිවෙලා බව මට පෙනී යනවා. උඹගෙ ලියවිලිවලින් දැන් වැඩක් නැහැ” ඔහු පබළු වැනි ඇස් නටවමින් මෝඩ සිනාවක් පෑවේ ය. බැසයන හිරුගේ ආලෝකයෙන් ඔහුගේ මුහුණේ පැත්තක වැටී ඇති රැලිවල සෙවණැලි පැහැදිලි ව පෙනිණ.

යෂ්ටියේ මෘදු කෙළවර මාපැටගිල්ලෙන් පිරිමදිමින් සංස්කාරකවරයා හරින්ද්‍රනාත් බාබු දෙස රවා බැලුවේ ය. එම යෂ්ටිය වේවැල්වලින් තැනූ අගනා එකකි. ඔහු වඩා ළඟට ආවේ ය. “මට වචන කීපයක් කියන්න තියෙනවා සමහරවිට මට ඒ සඳහා ආයිත් අවස්ථාවක් නොලැබෙන්න පුළුවන්. මම මගෙ ජීවිතෙන් වසර විස්සක වටිනා කාලය මේ පුටුවෙ ගත කළේ උඹ වැනි වැදගැම්මකට නැති බුද්ධිමතකුගේ අධිපතිත්වය යටතේ දුක් විඳිමින්. උඹගෙ පරණ යාළුවන් ව ආරක්ෂා කරන්න මම අපූරු කතන්දර ලිව්වා. ඇත්ත ප්‍රකාශයට පත් කළේ නැහැ. මගෙ අභ්‍යන්තරයෙ දැවුණ ගින්දර ගැන උඹට හිතාගන්න බැරි ව ඇති. ඒ ඔක්කොම දැන් ඉවරයි. මම ඒ ජීවිතය පැත්තකට දැම්මා.” සංස්කාරකවරයා පැමිණ මේසයේ අනිත් කෙළවර සිට ගත්තේ ය. හරින්ද්‍රනාත් බාබු පස්සට විය.

“මොකද මේ? මට උඹ කියල කතා කළේ. කලින් කතා කළේ ලොකු මහත්තය කියල නේද? ප්‍රතිපත්තිය වෙනස් කළා ද? ආහ්! වැඩි ආදරේ පෙන්නන්න හදනව ද?” හරින්ද්‍රනාත් බාබු විමසුවේ ය.

තමා ලබා දුන් බේත්වේලේ මාත්‍රා ප්‍රමාණය වැඩි වුණා ද? නොඑසේනම් රෝගයට වඩා ප්‍රතිකාරය නරක් වුණාද යන්න ඔහුට සිතාගත නොහැකි විය. කිසියම් වරදක් සිදු ව ඇති බව ඔහුට වැටහිණ. එහෙත් එය කුමක් විය හැකි දැයි අනුමාන කිරීමට ඔහුට හැකියාවක් ද නොවීය.

තමාගේ ඝෝෂාව දුටු විට සහ තමාට මුහුණදීමට සිදුවන දුෂ්කරතා සිහිවූ විට සංස්කාරකවරයා තමාගේ ස්ථාවරය වෙනස් කරගනු ඇතැයි යන සිතිවිල්ලක් ඇතිවී හේ සැනසීමට පත්විය. කෙසේ වෙතත් එය වෙන ම කාරණයකි. එහෙත් තමා දැන් කාමරයේ තනිවී සිටින බව ඔහුට වැටහිණ. තමාගේ යටත් සේවකයකු මුහුණට මුහුණ පා තමාට ප්‍රති උත්තර දීම පිළිබඳ ව නම් හරින්ද්‍රනාත් බාබුට නොරිස්සුම් සහගත විය. එය ඔහුගේ ඉවසීමේ සීමාව ඉක්මවා යන්නකි.

ඔහු නොදැනුවත්ව ම ඔහුගේ මුහුණ හරහා යෂ්ටි පහර එල්ල වන්නට විය. හරින්ද්‍රනාත් බාබු කඩිනමින් පැන්නත් ඊළඟ මොහොතේ ඔහු පුටුව මත ඇද වැටිණ. පහරදීම දිගටම සිදුවිය. ඔහුගේ ඇස් අන්ධකාරයේ තිරයෙන් වැසී ගියේ ය. ඔහු දුටුවේ ගිනිකෙළි සන්දර්ශනයකි. අමුතු දර්ශනයක්! තමාට හොඳට ම පහරදීම පිළිබඳ සැබෑ තත්ත්වය දිරවා ගැනීමට හරින්ද්‍රනාත් බාබුට අපහසු විය. යාන්තමින් කෙඳිරි ගාමින් හේ සංස්කාරකවරයා දෙස බැලුවේ ය. ඔහුගේ ඇස් බියෙන් විශාල වී ඇත. ඔහුගේ හිස කැරකෙන්නට විය. තවත් පහර කීපයකින් පසු සංස්කාරකවරයා නතර කළේ ය. හරින්ද්‍රනාත් බාබු මේසයට හේත්තු විය. ඔහුගේ මුහුණින් සහ ඇස්වලින් ලේ ගලා යයි. ඔහුට සිහි එළවා ගැනීමට මඳ වෙලාවක් ගත විය.

සංස්කාරකවරයා තම බාහුවල ශක්තිය පෙන්වමින් ගැඹුරු හුස්මක් ගත්තේ ය. එය ඔහුගේ වයසට සුදුසු නොවේ. සංස්කාරකවරයා නළලේ මතු වූ දහදිය පිස දැමුවේ ය. ඒ අතර හරින්ද්‍රනාත් බාබු අමාරුවෙන් මේසය මත වූ දුරකථනය වෙත ළංවීමට උත්සාහ දැරුවේ ය. එහෙත් එක්වර ම ඔහුගේ අත ඇද දමනු ලැබීය. හරින්ද්‍රනාත් බාබුගේ ජීවිතයේ ප්‍රථම වරට ඔහුට තම අත් අකුලා ගැනීමට සිදුවිය. ඔහුගේ මුහුණේ ස්වරූපය විශ්වාස කිරීමටත් අපහසු විය.

සංස්කාරකවරයා දේශනයක් පැවැත්වීම ආරම්භ කළේ ය. හේ බිඳුණු හඬින් කතා කළේ ය.

“මට සිද්ධ වුණා උඹගෙ පින්තූරෙ - තරබාරු ගුලිය - හැමදාම පත්තරේ පළ කරන්න වැදගත් ප්‍රවෘත්ති පැත්තකට දාලා” සංස්කාරකවරයා ශාස්ත්‍රීය දේශනයකට සූදානම් වූවාක් මෙනි. “ඒක නිසා තමයි මම එකින් එක කර්තෘ වාක්‍ය මුද්‍රණයට යැව්වේ. උඹගෙ විශාල, පිටට නොපෙනෙන අත්වලින් සිදුවුණ ප්‍රවෘත්ති කප්පාදුව පිළිබඳ ව මහජනතාව දැනුවත් කරන්නයි මට අවශ්‍ය වුණේ.” සංස්කාරකවරයා හරියට ම ගොදුරකට කඩා පැනීමට සැරසෙන කොටියකු මෙනි. ඔහුගේ ඇස් කෝපාග්නියෙන් දැල්වේ. ඔහු හුස්ම අල්ලාගෙන සිටින බව පෙනුණි. ඔහුගේ දිගු නාසයත් මේ සියල්ලත් හරින්ද්‍රනාත් බාබුට පිළිකුල් සහගත විය.

“මම උඹට මොනවද නොකළේ? මම කොයිතරම් නින්දා සහගත දේවල් පළ කරල තියෙනවද? ඒවා මට කරන්න සිද්ධ වුණේ උඹ නිසා. ඒත් ඊයේ රාත්‍රියෙ මම මුළුමනින් ම විනාශ වුණා. උඹ දන්නවා ඒකට වගකිව යුත්තේ කවුද කියල. උඹ දන්නවා” සංස්කාරකවරයා ඉදිරියට පැමිණ මනාව පීරා තිබූ හරින්ද්‍රනාත් බාබුගේ කෙස් වැටියෙන් අල්ලා ගත්තේ ය. හරින්ද්‍රනාත් ඔහු දෙස මුව අයාගෙන බලා සිටියේ ය. පද්මා ගංගාවේ ඉවුර බිඳී ජලය පිටාර ගලා යන්නාක් මෙනි. ඔහු මුව විවර කරගෙන ම සිටි අතර පුවත්පත් පිටු අතර තිබූ මනාව හැඳ පැලඳ සිටි මහත්මයා මොහුදැයි කෙනෙකුට සිතෙනු ඇත.

සංස්කාරකවරයා ඔහුට යන්නට ඉඩ ඇර කෙළින් සිට ගත්තේ ය. ඔහුගේ ඇස් ජනේලයෙන් පිටත දර්ශනය වෙත යොමු විය. ළමෝ තවමත් ක්‍රීඩා කරති. මහ පාරවල සෙනඟේ අඩුවක් නැත.

හදිසියේ ම හරින්ද්‍රනාත් බාබු අත් සහ දෙපා බිම තබා සංස්කාරකවරයාගේ පාමුල ඇද වැටිණ. සංස්කාරකවරයාට එවැනි දෑ දැක පළපුරුද්දක් ඇත. එහෙත් කෙස් වැටියෙන් අල්ලාගෙන සිටිද්දි මෙවැනි දෙයක් අභිනයෙන් දැක්වීම කෙනෙකුට අපහසු බව ද සංස්කාරකවරයාට වැටහිණ. සංස්කාරකවරයා ඔහු ව ඇද පුටුව වෙත තල්ලු කළේ ය. නිහඬ මෘදු ලෙස කතා කරන වාර්තාකරුවා බිහිසුණු තත්ත්වයට පත් ව ඇති බව හරින්ද්‍රනාත් බාබුට වැටහිණ. ඔහුගේ විදුරු මස්වලින් ලේ ගලන්නට විය. ඔහුගේ ඇසක අවලස්සණ කළු පැල්ලමකි. සාමය සඳහා අන්තිම තුරුම්පුවත් ගැසීමට හේ කල්පනා කළේ ය. හේ මෙලෙස කීවේ ය. “සහෝදරයා මම කේන්තියෙන් කියපු කරපු දේවල් සේරම අමතක කරන්න. කොහොම වුණත් අපි ආදරය කරන කෙනෙක්වමයි මෙහෙම පීඩාවට ලක්කරන්නෙත්” සංස්කාරකවරයාගේ ප්‍රතිචාරය ක්ෂණික විය. “කටවහගනින් සේරට ම වඩා උඹයි නරක. අපරාධකාරයා! මගෙ විනාශයට හේතුව උඹයි. ඊයෙ රාත්‍රියෙ ඇය මියගියා. ඇය කුසේ දරුවකු දරාගෙනයි හිටියෙ. ඇය මුළු ජීවිත කාලෙ ම ලොකු වේදනාවක් දරාගෙන සිටියා. ඇය ඔක්කොම පැත්තකට දැම්මේ මම නිසා” සංස්කාරකවරයා කතා කළේ දැඩි හඬකිනි.

“ඇයි නිවාඩු යන්නෙ නැත්තෙ? දවස් කීපයකට නිවාඩුවක් ගන්න එතකොට වඩා හොඳ වෙයි. මම දන්නවා ඔබගෙ බිරිය ශාන්තුවරියක්” හරින්ද්‍රනාත් කලබල ස්වරූපයෙන් අවට බලමින් පැවසුවේ ය. සංස්කාරකවරයා අස්වාභාවික සන්සුන්භාවයකින් යුතු ව ඔහු දෙස බලා සිටියේ ය. හරින්ද්‍රනාත් බාබු අසහනයට පත්විය. හේ අස්ථාවර දෙපාවලින් නැඟී සිටීමට උත්සාහ කරමින් තමන්ගේ තුවාල වූ මුහුණේ අවලස්සණ පෙනුම මකා ගැනීමට උත්සාහ කළේ ය. කාමරය පුරා දෝංකාර නංවමින් යෂ්ටියේ නාදය ගිගුම් දුන්නේ ය. සංස්කාරකවරයා නැවතත් තමාගේ දරුණු ප්‍රහාරය ආරම්භ කළේ මහහඬින් කෑගසමිනි. “ලේ පිපාසිතයා, මේ මගෙ කට වහන්න කරපු දේවලට ලැබෙන උත්තර. මෙහෙම තමයි උඹගෙ සේවකයෝ උඹට ගෙවන්නෙ” හරින්ද්‍රනාත් බාබු පහරෙන් වැළකීමට උත්සාහ කළත් සංස්කාරකවරයාගේ උස ශරීරයේ ප්‍රමාණවත් කායික ශක්තියක් තිබිණ. අන්තිමේ හරින්ද්‍රනාත් බාබු කඳුළු සලන්නට විය. හරියට ම අසරණ දරුවකු මෙනි. ඔහුගෙ කෝපයෙන් ප්‍රතිඵලයක් අත් නොවී ය. සෑම අලුත් පහරකට ම හේ වේදනාවෙන් මොර දුන්නේ ය. ටික වෙලාවක් යන විට එය නතර විය. සංස්කාරකවරයා තමා අවට ගැන සැලකිල්ලක් නොදක්වා ම ඔහේ දිගට හරහට පහර දුන්නේ ය. පළමුවන සහ දෙවන මහල්වල සිටි නිලධාරී මණ්ඩලය එක් රැස්වී කුතුහලයෙන් බලා සිටියහ. සංස්කාරකවරයාට අන්තිම පහර එල්ල කිරීමට නොහැකි විය. යෂ්ටිය පුටුවේ වැදී කෑලිවලට කැඩී ගියේ ය.

යෂ්ටිය හරින්ද්‍රනාත් බාබු තරම් වටිනවා ද? සංස්කාරකවරයා කළේ කුමක් ද?

අන්තිමේ සංස්කාරකවරයා ප්‍රකෘති තත්ත්වයට පත්විය. හැඟීම් සහ තම සීමාවලින් පිටට ගොස් කළ දෙයින් හේ අධික වෙහෙසට පත් ව සිටියේ ය. යෂ්ටියේ කැබලි බිම අඩ රවුමට වැටී තිබිණ.

හරින්ද්‍රනාත් බාබු දැන් සිහිසුන් ව සිටී. ඔහුගේ සිරුරෙන් ගලා යන ලේ හෙමිහිට පුටුව දිගේ ගලා ගොස් බින්දුව බින්දුව බිමට වැටේ. සමහරවිට එයින් හොඳක් සිදුවිය හැකි ය. හරින්ද්‍රනාත් බාබුගේ අධික රුධිර පීඩනයට එය පිළියමක් විය හැකි ය. තම වෙව්ලන දෑතින් මුහුණ පිසදා ගනිමින් තම කමිසයේ අත් දිග ඇරගනිමින් හිසකෙස් අතින් සකස් කරගත් සංස්කාරකවරයා මේසය මත මුහුණ ඔබාගෙන සිටින සිරුර දෙස බැලුවේ ය.

හේ කාමරයෙන් පිටතට විත් පිටතින් අගුල දැමුවේ ය. බැසයන හිරුගේ රත්පැහැය, ගලා යන ලෙයට මුසු ව අමුතු දීප්තියක් ගෙන දුන්නේ ය. කැඩුණු යෂ්ටියේ කැබලි බිම වැටී ඇත.

සංස්කාරකවරයා පියගැට පෙළ බැස්සේ ය. රියැදුරා තමාගේ ලොක්කා පැමිණීමට තව කොපමණ වේලාවක් ගනිවිදැයි බලා සිටී. ඔහුට තම ලොක්කා ව වෙනත් තැනකට රැගෙන යාමට නියමිත ව ඇත. මුද්‍රණාලය ඇතුළේ විශාල කලබැගෑනියකි. සදාකාලික ව විස්තාරණය වන මිනිසුන් කණ්ඩායමට තවත් මිනිසකු එක්වනු ඇත. සටන්කාමී හමුදාවට තවත් සොල්දාදුවකු එකතු වනු ඇත.

https://archives.silumina.lk/punkalasa/20101010/_art.asp?fn=ar1010103

Nissanka Rajapaksa

unread,
Apr 14, 2024, 7:13:51 PMApr 14
to INDRAKA group
13
හිරගෙදර හූනා

ජගත් මාරසිංහ

මාරයාගේ සෙවනැල්ල දුටු ඒ යුගය කෙසේ නම් අමතක කළ හැකිද? සියලු පුවත්පත්වල සිරස්තලයන්හි මරණයේ සෙවණැල්ල හොල්මන් කරන්නට පටන් ගත්තේ ඒ කාලයේ සිට ය. විශ්වවිද්‍යාල වසා දැමූ අතර ක‍්‍රමයෙන් දේශපාලන සිරකරුවන්ගෙන් සිරගෙවල් පිරීතිරී ගියේ ය. තරුණ දූ දරුවන් ඇති දෙමවුපියෝ බෝධීන් වහන්සේ ගේ මුල් පෑදෙන තෙක් පැන් කළගෙඩි වක් කරන්නට වූහ.

රැඳවියන් යන නාමයෙන් අත්අඩංගුවට ගත්ත ද ඔව්හු සැබෑවට ම සිරකරුවෝ වූහ. රාජ්‍ය විරෝධීන් ලෙස සැක කළ හැකි සෑම අයෙක් ම සිර අඩස්සියට පත් වූවා සේ ය. උසාවියෙන් දඬුවම් ලබා පැමිණි පිරිසට සිර ඇඳුම වූ ජම්පරය හිමි වූ අතර සැකකරුවෝ සාමාන්‍ය ඇඳුමෙන් ම සැරසී සිටියහ.

දැවැන්ත සිර කඳවුරේ ඩී වාට්ටුව පිහිටා තිබුණේ බෝ ගසක් අසල ය. එය දෙමහල් ගොඩනැගිල්ලකි. රෝගී රැඳවියන්ව යටි මහලේ ෂෙල් කාමර තුළ රඳවා සිටියේය. මම උඩුමහලේ වාට්ටුවට කොටුවීම ගැන සතුටු වීමි. ඒ යකඩ කූරුවල එල්ලී ඈත බැලිය හැකි නිසා ය. උඩුමහලට පිට්ටනියක් සහ මුඩුක්කු පෙලක් ඈතින් දර්ශනය වේ. මේ මුඩුක්කු පෙල අතරින් වරින් වර හූ හඬ නගමින් පුංචි කෝච්චියක් ගමන් කරයි. මෙය අපට යම් අස්වැසිල්ලක් විය. යට මහලේ ෂෙල් කාමරවල රැඳවියන්ට පෙනුනේ අහස පමණි. කාකි පාට නිල ඇඳුමින් සැරසුණු ජේලර් ගාඩ්ලා බැටන් පොලු අතැති ව බෝගස යට ගල් බංකුවක් උඩ දිවා රාති‍්‍ර රාජකාරියේ නියැළෙයි. ඔවුන් මොහොතකට රාජකාරිය නිසා සිර ගත වූවා සේ ය.

ඉංග‍්‍රීසි වෛද්‍යවරයකු හැර විවිධ තරාතිරම් වල අය ඩී වාට්ටුව තුළ රඳවා තැබිණි. රැඳවියන් අතර වැඩි පුරම හිටියේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ය. එහෙත් ඔවුන්ගෙන් බොහෝ අය කෙටි කලකින් නිදහස් වී ගියේ ය. කළ වරදක් හෝ නිදහස් වන කාලයක් ගැන නොදත් අපි ක‍්‍රමයෙන් ගැඹුරු වාද විවාද සංවාද විසංවාද අතර සැරි සරන්නට වීමු. දර්ශනය, දේශපාලනය, කලාව ගැන රැඳවියන්ගේ හඬ කොතරම් තීව‍්‍ර වූයේ ද යත් වරෙක වහලයේ සිටි පරෙවියන් පවා කුලප්පු වුණේ ය.

කාලය යනු කුමක් දැයි සිරකරුවෙකුට කවදත් ප‍්‍රශ්නයකි. ඔරලෝසුවේ කටු නිවැරදි කාලය වාර්තා කළ ද සිපිරිගෙය තුළ කාලය ගෙවී යන්නේ බොහෝ සෙමින් ය. කාලයත්, මනසත් තුළ ඇති ගූඩත්වය අවබෝධ කර ගැනීමට පැය කාලක්වත් සිරගත වීම හොඳටෝ ම ප‍්‍රමාණවත් ය.

දුහුල්ලෑවගේ වයස අවුරුදු විසි අටකි. වයසට වඩා මේරූ මුහුණක් ඇති ඔහු තලඑළලු ය. උසය; නිතර ම කෙස් අවුල් වී තිබේ. නෙත් තරමක් විශාල ය. දුහුල්ලෑව කිසිම දේශපාලනයක් වෙනුවෙන් පෙනී සිටියේ නැත. එහෙත් ඔහු මාක්ස්වාදයට ගරු කළේ ය. එකළ දේශපාලන සිර ගෙදරක ගාල් වීමට එය ප‍්‍රමාණවත් ය. වාට්ටුව පුරා එහෙ මෙහේ සක්මන් කරන ඔහු වරෙක නැවතී හිටගෙන ම වාද විවාද වලට සවන් යොමු කරයි. මුලදී බොහෝ අය ඔහු සී.අයි.ඩී. කාරයෙකු ලෙස සැක කළේ ය. කල් පසුවන විට ඔහු දර්ශනී කියමින් සිහිනෙන් හඬන්නට විය. දර්ශනී යනු ඔහුගේ ආදර පෙම්වතියයි. ඔහු පිළිබඳ අනෙකුත් දේශපාලන රැඳවියන්ට තිබූ සැකය ඔහුගේ කඳුළුවලින් ම සේදී ගියේ ය.

ජීවිතයේ සියලු බලාපොරොත්තු සුන් කර දමා නිදා ගන්නට පැදුරක් හෝ රෙට්ටුවකුත්, හිසට තැලී ගිය කොට්ටයකුත් දිය නෑමට කබල් ටින් එකකුත් දී සිරගත කරන සිරකරුවෙකුගේ මානසිකත්වය ගැන අවබෝධ කරගත හැක්කේ සිරගත වූවෙකුට ම පමණි. එහෙත් ඔව්හු අවට පරිසරයෙන් අත්‍යවශ්‍ය උපයෝගිතා උපකරණ රහසේ නිෂ්පාදනය කර ගනිති. දේශපාලන රැඳවියෙකුට නිදහස යනු ඒ මොහොතට වචනයක් පමණි. සමහර විට නිදහස යනු මරණය වන්නට ද බොහෝ දුරට ඉඩ තිබේ. එහෙත් නිදහස ගැන සිතමින් ම ඔව්හු සිරගත කාලය ගෙවා දමයි. දේශපාලන රැඳවියන්ගේ කාංසාවේ ගැඹුර කෙතෙක් ද, එපමණක් ටම සිරගෙදර පොත පතින් ආඪ්‍ය වේ. එහෙත් දුහුල්ලෑව කිසි විටක පොත් ගුල්ලෙක් වූයේ නැත. ඔහු ඔහුගේ පෙම්වතිය ගැන ප‍්‍රසිද්ධියේ සිතමින් කාලය ගත කළේ ය. ඔහුගේ සැප දුක් සොයන්නට වැඩිපුර ම විසිට් ආවේ ද පෙම්වතිය පමණි. ඇය පැමිණි දින ඔහු සතුටින් කාලය ගත කරයි. ඉක්බිති ඒ සතුට සදය සතුටක් බවට පත්වේ.

දිනක් බන්ධනාගාර රෝහලේ ප‍්‍රතිකාර ලබන රැඳවියන් ගේ අතපය මාංචුවලින් නිදහස් කරන ලෙස ඉල්ලා ඔවුන් විසින් එක් දින ආහාර වර්ජනයක් දියත් කරන ලදී. එදින කුස ගින්නේ උවත් සතුටින් සිටියේ දුහුල්ලෑව පමණි. ඒ එදා ඇයගේ පෙම්වතිය විසිට් එකට පැමිණි නිසා ය.

“දුහුල්ලෑව බඩගිනි එහෙම නැද්ද?”

“ගිනි නම් අද ටිකක් අඩුයි.”

“අද කෑල්ල විසිට් එකට ආපු හින්දා වෙන්නැති”

“ඒකි කවදාවත් නෑවිත් ඉන්නෙ නෑ”

“කවද හරි එයා වෙනස් උනොත්”

“මට ඉර හදටත් වඩා විශ්වාසයි.”

“කොහොමද එයාව හම්බ උනේ.”

“ඇත්ත දේශපාලනය හොයන්න ගිහිල්ල. අසාධාරණේට විරුද්ධව සටන් කරන්න ගිහිල්ල. හැබැයි එයාව හම්බ උනාට පස්සෙ මට දේශාලනය දෙවෙනි අංකය වුණා.”

“කොච්චර කල් ද”

“ලබන නවවෙනිදට හරියටම අවුරුදු පහයි”

“තාම කසාද බැඳල නැද්ද”

“විශ්වාසය තියනව නම් බඳින්නෙ මොකටද? නොබැන්දත් බැන්ද වගේ තමයි. දරුවෙක් විතරයි අඩු.”

“දරුවෙක් හදන්න බලාපොරොත්තුවක් නැද්ද?”

“දරුවො හදන්න නිදහස් වෙන්න එපෑ”

ඔහුගේ කතාවෙන් මගේ මනස බොහෝ කලකිරුණේ ය. ඒ මා සිරගත වී තුන් මසකින් වගේ පෙම්වතිය මා හැර ගිය නිසා ය. මට දුහුල්ලෑව කෙරෙහි සියුම් ඊර්ෂ්‍යාවක් ඇති විය. මම අවේලාවේ නිදාගන්නට තැත් කළෙමි. එහෙත් නින්ද මා අසලකටවත් පැමිණියේ නැත. දුහුල්ලෑව කොතරම් වාසනාවන්තයෙක් දැයි යන සිතුවිල්ල මට බොහෝ කරදර කළේ ය.

වසා තිබෙන සෝඩා බෝතලයක් සෙලව්වාමෙන් තත්ත්වයක් රැඳවියන් තුළ විද්‍යාමාන වූ දින කීපයක් උදා විය.

ඒ ඉන්දියන් නැව් කීපයක් අප රට අසල සාගරයේ නැංගුරම් ලා තිබි කාලයයි.

“ඉන්දියන් හමුදාව අපේ මුහුදු සීමාව අසලට ඇවිත්ලලු”

“ඉතින් මට මොකෝ” දුහුල්ලෑව සැහැල්ලුවෙන් පිළිතුරු දුන්නේ ය.

“බලවත් රටක් දුර්වල රටක් ආක‍්‍රමණය කරපුවා ම ඉස්සරල ම පෝලිං ගස්සල මරල දාන්නෙ දේශපාලන රැඳවියන් ව.”

“මගේ අංක එක මම නෙවේ දර්ශනී. අංක දෙක රට. ඒ මගේ සමාජවාදය”

“අපි හිතුවෙ දුහුල්ලෑවට අංක එක ඔය බිත්තියේ ඉන්න හූන කියල”

කාංසාව නිසාදෝ බොහෝ විට හිරකරුවෝ විවිධ සතුන්ට සමීප වේ. ඕනෑම සිර කඳවුරක විශාල බළල් පරම්පරාවක් වාසය කරයි. ඒ හැම බළලෙකුටම අයිතිකාරයකු සිටී. පරවියන් කපුටන් පමණක් නොව සමහරු පොල්කිච්චන් සමඟ ද මිතුරු වී සිටී. එහෙත් දුහුල්ලෑවගේ මිත‍්‍රයා වූයේ හූනෙකි. ඉරට්ටෙන් බත් කවා යාළු කරගත් හූනා දැන් දුහුල්ලෑව කෑම කන විට කොට්ටය දිගේ විත් ඔඩොක්කුවට ද පනී. පූසෝ ඈතට වී බලා සිටින්නේ දුහුල්ලෑවගේ පා පහරේ තරම දන්නා නිසා ය.

“මොකද ඔය හූනට ඔච්චර ලව්”

“සහෝදරයා මට හූනො විශේෂයි. මගෙ දර්ශනීගෙ දකුණු පයේ හූනෙකුගෙ හැඩේ උපන් ලපයක් තියනව. ඉතින් මම එයාට හූනි කියනව. එතකොට එයා මට හූන කියනව.”

එක් දිනක් දුහුල්ලෑවටත් මටත් එක ම වේලාවට විසිට් එක ලැබිණි. එදින ඔහු බැලීමට පැමිණ සිටියේ දර්ශනී ය. ඇය පැහැපත් ය. සිහින් ය; තරමක් උස ය; අක්බඹරු කෙස් කළඹ තද කළු පැහැති ය; නීල වර්ණ දිගටි දෙනෙත් ය. ඔහු දර්ශනී ව මට හඳුන්වා දුන්නේ ය. ජේලර් ගාඩ් තැනට ඇති වෙනකම් අපි කතා බහ කළෙමු. නිදහස ලැබුණු පසු ඔවුනගේ නිවසට එන ලෙස ඇය මට ආරාධනාවක් ද කළා ය. විසිට් එක නිම වී මිදුලට විත් ඔහු ඇයගේ දකුණු පාදයේ බත්කෙන්දේ පිහිටා තිබී හූනෙකුගේ හැඩයේ උපන් ලපය මට පෙන්වන විට අසල සිටි ජේලර් ගාඩ් තැන උපහාසාත්මක සිනහවක් පල කළේ ය.

තවත් දිනක රැඳවියන් තුළ අමුතු ම ප‍්‍රබෝධයක් මම දුටිමි. ඒ වාට්ටුවට අමුත්තෙක් පැමිණ එහේ මෙහේ සැරි සරන්නට වූ හෙයිනි. අමුත්තා වනාහී තරමක් විශාල වර්ණවත් මල් පෙත්තෙකි. බොහෝ රැඳවියෝ රේට්ටු මත එරමිණියාවෙන් හිඳ උපේක්ෂාවෙන් මල් පෙත්තා යන යන දෙස බලා සිටියහ. විනාඩි තුනක ආස්වාදය සැපයූ මල් පෙත්තා ජනෙල් කූරු අතරින් එළිමහනට ගියේ ය. මොහොතකට මහා පාලුවක් ඇති විය. යකඩ කූරුවල එල්ලී එළියට ගිය මල්පෙත්තා දෙස බලා සිටියේ දුහුල්ලෑව පමණි.

“සමනලයා කොහෙද ගියේ”

“නෑ මම මේ බලන් හිටියෙ ඌ හිරගෙදර නරඹල මල්වල පැණිත් බීල නිදහසේ තාප්පය උඩින් එළියට ගියා. අපට වඩා ඌට නිදහස තියනව“

“ඕක මොකක්ද දුහුල්ලෑව. මම දවසක් බෝගහේ කොල වැටෙන දිහා බලාගෙන හිටිය. වේලිච්ච බෝ කොලයක් නිදහසේ තාප්පය උඩින් එළියට පාවෙලා යනව දැකල මගෙ සර්වාංගෙ ම හිරි වැටුණා.

ඉක්බිති අපි කීප දෙනෙක් පරාරෝපණ සංකල්පය ගැන බොහෝ දේ කතා කෙරුවෙමු. එහෙත් දුහුල්ලෑව බරට ම වැඩ ය. ඔහු පරණ දත් බුරුසු කපා බිම අතුල්ලමින් පෝනි කටු සාදයි. ඒ දර්ශනීට තෑගි කරන්නට ය. දර්ශනී ළඟ මේ වනවිට පෝනිකටු සියයකටත් වඩා තිබිය යුතු ය. ඇය ද විසිට් එන විට ඔහුගේ සුරතින් නිම වූ පෝනි කටු පැළඳ එයි. එයින් ඔහු ලබන සතුට කෙබඳු විය හැකි ද?

“ඔච්චර ආදරේ කරල කවද හරි වෙන්වෙන්න උනොත් ඔයා මැරෙයිනෙ”

“නැහැ. එහෙම වෙන්නෙ නැහැ. ඒකි පර්ස් එකේ දාගෙන ඉන්නෙ කාල්මාක්ස්ගෙයි, බුදුන්ගෙයි, මගෙයි ෆොටෝ. එයා මටත් ආදරෙයි. රටටත් ආදරෙයි. ඉන්දියන් හමුදාව ලංකාවට ආපු දවසෙ එයා ගොඩක් අඬල තියනව. එයාට හොඳ දේශපාලන ඥානයකුත් තියනව. දර්ශනී කියන්නෙ සාමාන්‍ය කෙල්ලක් නෙමේ.”

පමණට වඩා මහත් වූ ප‍්‍රසන්න මුහුණක් ඇති ජේලර් ගාඩ්වරයා පැමිණ බැටන් පොල්ලෙන් දොරට ගසන්නට විය. වාට්ටුව නිශ්ශබ්ද විය. කුමක් හෝ විශේෂ නිවේදනයක් බව දන්නා රැඳවියෝ එක එල්ලේ ඔහු දෙස බලා සිටියෝ ය.

“අංක එකසිය පනස් නමය...

ආ තමුසෙද?... නිදහස්”

සියලු රැඳවියෝ දුහුල්ලෑව වට කරගෙන සුබ පතන්නට වූහ. ඔහුගේ ප‍්‍රබෝධමත් මුහුණ දෙස කවුරුත් උනන්දුවෙන් බලා සිටියෝ ය. ඇඳ පැළඳ ගත් දුහුල්ලෑව මහ හඩින් හඬන්නට විය. රැඳවියෝ රහසේ තමන්ගේ කඳුළු පිස දා ගත් හ. සියලු රැඳවියන්ව සිප වැළඳ ගත් ඔහු බිත්තිය අයිනට ගොස් සීලිමට ආයුබෝවන් කීවේ ය.

“අනේ සහෝදරවරු මගෙ හූන ව හොඳින් බලාගන්න.”

රැඳවියෝ එකිනෙකාගේ මුහුණ බලා ගත්හ. නිදහස් වූ පසු ඔහුගේ ගෙදර එන ලෙස මගේ අත අල්ලා නැවත ඉල්ලා සිටියේ ය. ඔහු හඬමින් ද, අත වනමින් ද පස්සෙන් පස්සට ගොස් ගේට්ටුවෙන් පිට විය.

පැය දෙකකට පමණ පසු මහත ජේලර් තැන හැඟීම් බර මුහුණෙන් ගල් බංකුවේ වාඩි විය. කුමක් හෝ හෝඩුවාවක් බව දැනගත් රැඳවියෝ ඔහු වටා රොක් වූහ.

මිනිහ ගෙදර යන්න පාරට බහිද්දි ම අංක තහඩු නැති වෑන් එකක් නවත්තල මිනිහ ව දාගෙන ගිහිල්ලා”

සියල්ලෝ ම මරු විකල්ලෙන් මෙන් කසු කුසු ගාන්නට වූහ. සතියක් පමණ ගතවන විට වාට්ටුව සාමාන්‍ය තත්ත්වයට පත් වූ අතර විටින් විට දුහුල්ලෑව ගැන නොයෙක් කතන්දර ගොතන්නට විය. මම පමණක් නිහඬ ව සිටියෙමි. හිර ගෙදර තුළ තොරතුරුවලට කම්බි යන වචනය ව්‍යාහාර වේ. ජනමාධ්‍යවලටත් පෙර හිරගෙදරට කම්බි ලැබෙන්නේ කෙසේද යන්න වෙන ම හැදෑරිය යුතු කාරණයකි. කම්බි ගෙනෙන ගාඩ් තැන ටික කලකට පසු නැවතත් ගාම්භීර මුහුණින් ගල් බංකුව මත වාඩි විය.

“අර හාදය ව මරල ගෑනිගෙ ගේ ඉස්සරහ ටයර් සෑයක පුච්චල දාල.”

රැඳවියන් අතර සිටි විප්ලවවාදී හිමි නම වහා උඩු මහලේ කාලකන්නි සඳලුතලයට නැග ආවේගශීලී කතාවක් කළේ ය. ඉක්බිති රැඳවියෝ දින දෙකක ආහාර වර්ජනය කරන්නට කතිකා කර ගත්හ. අපි කුසගින්නේ සිට යටි ගිරියෙන් කෑ ගසමින් කෝපය පළ කෙරුවෙමු.

මම දුහුල්ලෑවගෙන් හිස් වූ බිම් තීරයේ මගේ රෙට්ටුව එලා ගතිමි. එහෙත් හූනා නිකමටවත් පහලට බැස්සේ නැත. මම දුහුල්ලෑව ම අනුගමනය කළෙමි. ඉරට්ටුවක් ගෙන බත් ඇට ගසා කන්නට දී ටික ටික හූනා ව පහළට ගන්නට තැත් කළෙමි. හූනා දකින හැම විට ම මගේ හදවත වෙව්ලුම් කා දර්ශනී ව සිහියට නැගේ. දුහුල්ලෑවටත් වඩා මට දර්ශනී ව සිහිවන්නේ ඇයි දැයි මම නොදනිමි. මා රැඳවියන් ට හොරෙන් කඳුළු පිසදා ගත් අවස්ථා ද නැත්තේ නොවේ, දැන් හූනා කොට්ටයට බැස රෙට්ටුව දිගේ මා අසලට පැමිණේ. නිදහස් වූ විගස දර්ශනී ව සොයා ගොස් දුහුල්ලෑවගේ විස්තර කතා බහ කර හූනා ව ඇයට දීමට මම තීරණය කළෙමි. දැන් හූනා සහ මගේ ජීවිතය අතරත් මහා බැඳීමක් ඇති වී තිබේ. මහත ජේලර් තැන ගේට්ටුවට ගසා මගේ අංකය කියා නිදහස් කියන දවස කවදා උදාවිය හැකි ද? පෙට්ටියක දැමූ හූනා දර්ශනීට දුන් පසු ඇගේ ප‍්‍රතිචාරය කෙබඳු විය හැකිද?

https://archives.silumina.lk/punkalasa/20090419/_art.asp?fn=ar0904193

Nissanka Rajapaksa

unread,
Apr 15, 2024, 7:26:30 PMApr 15
to INDRAKA group
14
වෙදමුත්තා

කැත්ලීන් ජයවර්ධන

මුණුකුල කඳු මුදුන හිරු රැස් පොරවාගෙන සිටි යි. වහලයක්, ආවරණයක් නො මැතිව වුව ද කිසිවක් දවන, තවන කිරණක් නො වන එය, නගරයට ඔරවන හිරුමඬල ම යැයි නො සිතෙන තරමට මුදු ය.

සංචාරක නිවාසයේ වැට මායිමෙහි පිපුණ සූරියකාන්ත මල් මෙන් ම පාත්තිවලින් හා පෝච්චිවලින් හිස ඔසවන රෝස, ඩේලියා හා කානේෂන් මල් ද හිරු දෙස බලා සිටින්නේ සතුටිනි.

දෙමහල් සංචාරක නිවාසයේ කවුළුවකින් ශ්වේතා බලා සිටියේ අහස දෙස ය. පොළොව හිරු වටා යන්නේ ඉලිප්සාකාර ගමන් මගක යැයි ඇය අසා තිබේ.

අහස, පොළොව, ග‍්‍රහ තාරකා ගැන මෙන්ම අවුරුදු කුමාරයාගේ සම්ප‍්‍රාප්තිය ගැන ද ඇයට කියා දී ඇත්තේ වෙදමුත්තා ය.

එහෙත් නොනගතය ගෙවී සිංහල අවුරුද්ද උදා වූ බව මොහොතකට පෙර සන්නිවේදනය කරනු ලැබුවේ රූපවාහිනී නිවේදිකාවක විසිනි. සුපුරුදු අයුරින් තමා පි‍්‍රයංජන් ද සමඟ සංචාරක නිවාසය බලා ගමන් අරඹා ඇත්තේ නොනගත වෙලාවේ දී යැයි සිතෙන විට, මොකක්දෝ අමුත්තක්, බියක් සිතට දැනෙ යි.

විද්‍යාවේ, තාක්ෂණයේ යෝධ පිමි හමුවේ වුව එවැනි බියජනක හැඟීම් පලවා හැරීම පහසු නැත. නොනගතය යයි කියන්නේ පෘථිවියට සාපේක්ෂ ව යන ගමනේ දී සූර්යයා මීන රාශියේත්, මේෂ රාශියේත් පිහිටන අවස්ථාව යැයි වෙදමුත්තා ඇයට කියා දී ඇත්තේ පොඩි දවසේදී ම ය. එහෙත් ඒ කතාවේ පැහැදිලි අරුතක් මේ වනතුරු ම සිත හරියාකාර ව තේරුම් ගෙන නැත.

පි‍්‍රයංජන් මැද ශාලාවේ සුව අසුනක හිඳ සිටින්නේ දුරස්ථ පාලකය අතැතිව ය. විනාඩියෙන් විනාඩියට චැනල මාරු කරන ඔහුගේ ඉරියව්වලින් පළවන්නේ අතෘප්තිකර ස්වභාවයකි. රූප පෙට්ටියේ බලන්නට තරම් වන දෙයක් නැතැ යි ඔහුගේ ඉරියව් කියාපා යි. විද්‍යුත් මාධ්‍ය හැමෙකකින් ම පාහේ වාදනය වෙමින් ඇත්තේ එකම ගීතයකි, එකම තනුවකි.

ඔංචිලි වාරම්... රබන් සුරල්... අවුරුදු කී‍්‍රඩා...

ගෙදර දී නම් පි‍්‍රයංජන් රූපවාහිනිය නරඹන්නේ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ය. ඒ රූප රාමු ඔහු ආස්වාදනය කරන්නේ සත්සමුදුරු තරණය කරන්නාක් වැනි හැඟීමකිනි යි ඇයට සිතෙ යි. නගරයේ ඉපදී, නගරයේ හැදීවැඩී, එංගලන්තයෙන් වෛද්‍ය උපාධිය ලබා, කැලිෆෝනියාවේ හය අවුරුද්දක් රැකියාව කළ පි‍්‍රයංජන්ට ජල්ලි කී‍්‍රඩාව, මේවර කෙළිය හෝ එළුවන් කෑම හාස්‍යජනක වීම අරුමයක් විය හැකි නැත.

පි‍්‍රයංජන් ඇය විවාහ කරගැනීම රටක්, රාජ්‍යයක් දිනා ගැනීමක්, දික්විජය කිරීමක් ලෙස තැකුවේ ඇගේ අම්මා ය. ඔහුගේ සමාජ තත්ත්වයට සරිලන අයුරින් ශ්වේතාට තිබූ එක ම සුදුසුකම වුණේ මනබඳින, සුදු වූ රූසපුව පමණි. කලා අංශයෙන් උසස් පෙළ සමත් ව සිටිය ද පි‍්‍රයංජන්ගේ දැන උගත්කමට අලගු තියන්නට හෝ එය ප‍්‍රමාණවත් වූයේ නැත.

මේ ගෙවී යමින් ඇත්තේ ඇගේත්, පි‍්‍රයංජන්ගේත් විවාහයේ තුන්වන වසර ය. අවුරුදු නෑගම් යන්නට පි‍්‍රයංජන් කැමති කරවා ගැනීම සඳහා ඇයට හැකි වූයේ විවාහයෙන් අනතුරු ව උදා වූ මුල් ම සිංහල අවුරුද්දේ දී පමණි. ඊළඟ වසරේ පටන් ඔවුන් අවුරුදු නිවාඩුව ගත කළේ ශීත පළාතක, රමණීය කඳුකරයක පිහිටි සුපිරි හෝටලයක හෝ සංචාරක නිවාසයක ය.

නෑගම් යාම මෙන්ම කැවිලි පිඟන් රැගෙන ගෙන් ගෙට යන්නවුනට සංග‍්‍රහ කිරීම ද පි‍්‍රයංජන් සැලකුවේ අවඥාව මුසු උදාසීනත්වයකිනි. ‘ඕවා කරදර වැඩ’ යි කීව ද අලුත් අවුරුද්ද වෙනුවෙන් රෙදිපිළි, තෑගි බෝග මිලදී ගැනීමට, ගේ දොර පිළිසකර කර ගැනීමට ඔහු නො මසුරුව මුදල් වියදම් කළේ ය. අවුරුදු නැකැත්වල වලංගු භාවය ගැන පි‍්‍රයංජන් සිත යොමු කරනු ඇත්තේ කවදා හෝ එය බටහිර විද්‍යාවෙන් තහවුරු වන දිනයක දී ය.

ශ්වේතාගේ ලෝකයේ අයෝමය පුරුෂයා වන්නේ පි‍්‍රයංජන් ය. මේ අයෝමය භාවය ඇය ඔහුට තිළිණ කොට ඇත්තේ ඔහු ඇගේ නිත්‍යානුකූල ස්වාමි පුරුෂයා වන නිසා ම නො වේ. ස්වාමිභක්තිය හේතුවෙන් ද නො වේ.

කටේ, දිවේ නො ගෑවී ඉංගිරිසි බස උසුරුවන ඔහු විසිඑක්වෙනි සියවසේ සකලවිධ වූ විද්‍යා හා තාක්ෂණ දැනුම මිටින් ගෙන උපන්නකු වැනි ය. බොහෝ ප‍්‍රශ්න දෙස ඔහු බලන්නේ යථාර්ථවාදී, බුද්ධිවාදී පදනමක පිහිටා ය.

සංචාරක නිවාසයේ භාරකරු පාතරාසය සඳහා මේසය සූදානම් කරමින් සිටී. ඔහු සුදු කිරිබත් දීසියක්, සුදු මේස රෙද්ද මත තබන්නේ ධාතු කරඬුවක් වඩම්මන්නාක් වැනි පරිස්සමකිනි. කිරිබත් දීසිය වටා දුම් දමමින් ඇත්තේ කුකුළු මස් කරියක්, මාළු කරියක් හා සීනි සම්බලයකි.

ශ්වේතා විමතියෙන් බලා සිටියා ය. බංගලා භාරකරු කිරිබත පිළියෙල කරන්නට ඇත්තේ මොහොතකට පෙර උදා වූ අවුරුද්දට ගරු කරනු පිණිස ය. ඔහු පිඟන් වටා මේස හැඳි, පිහියා හා ගෑරුප්පු ද තබන්නේ ආයතන ප‍්‍රධානියකුට, නාගරික විද්වතකුට අතින් කිරිබත් කන්නට ඉඩ හැරීම නිගරුවකැ යි සිතන නිසා ද?

කිරිබතට ලුණු මිරිසක් නැතිවීම ශ්වේතාට නම් දැනුණේ අඩුපාඩුවක් ලෙස ය. ‘කමක් නැහැ.’ යි යළි සිතුණේ පි‍්‍රයංජන්ට එවැනි ගැටලුවක් මතු නො වූ බව පෙනුණ නිසා ය. පි‍්‍රයංජන් වැලි අහුරක් මිටින් ගෙන රන් යැයි කීව ද දෙවරක් නො සිතා එය පිළිගැනීමට ඇය සූදානම් ය. පසුගිය දිනයක වෙදමුත්තා ගල් පහරක් එල්ල කළේ ඇගේ ඒ හිමිබැතියට ය.

වෙදමුත්තා එදා කොළඹ ඇවිත් තිබුණේ කාලාන්තරයකට පසුව ය. ඒ ආයුර්වේද වෛද්‍යවරයකුගේ අවමඟුලකට සහභාගි වීම සඳහා ය. පිටස්තරයකු නො දන්වා පැමිණීමේ සිරිත නගරයට ආගන්තුක බවත්, එය අනපේක්ෂිත ගැටලු මතු කරන්නක් වන බවත් වෙදමුත්තා දැන සිටින්නට නැත.

රෑ කෑම සඳහා පි‍්‍රයංජන් අවන්හලකින් පීසා ඇණවුම් කර තිබූ නිසා, රයිස් කුකරය අඩියේ ඉතිරිව තිබුණේ මෙහෙකරුවන් සඳහා ප‍්‍රමාණවත් වූ දවල් බත් ශේෂයකි.

වෙදමුත්තාට ඒ බතින් සංග‍්‍රහ කිරීමට සිදුවූයේ පීසා සුවඳ වෙදමුත්තාට අපුල දැන වූ බවක් හැඟුණ නිසා ය.

කවිච්චියේ හිඳගෙන හීල් බත් කමින් සිටි වෙදමුත්තා පසුවූයේ කල්පනාකාරීව ය. අනතුරුව විපරමින් ඉහළට විහිද ගිය ඔහුගේ බැල්මට හසුවූයේ බිත්ති වර්ණ ගැන්වීමට අටවා තිබූ පලංචියකි.

“හුණු ගානව වගේ?”

“හුණු නෙවෙ යි මුත්තේ. මේක මේ අලුත්ම පේන්ට් එකක්.” යි ඔහු නිවැරැදි කරමින් ශ්වේතා කීවා ය.

“නෑගම් නො ගියට, නැකතට වැඩ ඇල්ලුවේ නැතුවට පි‍්‍රයංජන් අවුරුද්දට ඒ අනිත් වැඩ ටික හරියට කරනවා. කොහෙ ද ඉතිං? එයාට තියන වැඩ කන්දරාවේ හැටියට වැඩ අල්ලන්නවත් වෙලාවක් තියෙනවැ යි? මේ ගමන අවුරුද්දට අපි ටිකක් ඈතක තියෙන සංචාරක බංගලාවක නතර වෙන්න හිතුවෙත් නිවීහැනහිල්ලේ ඉන්න යි. හැමදාමත් රෑ ජාමයක් වෙනකම්ම එයාට රාජකාරි. හැම එකක් ම ප්ලෑන් කරනව මදිවට ඒව හැන්ඩ්ල් කරන්නෙත් එයා. ඒ විතරක් යැයි, සමහර ජාත්‍යන්තර ප‍්‍රශ්න විසඳන්නත් මිනිස්ටර්ට බෑ එයා නැතුව.”

“අවුරද්දට දේශදීපංකරවල යනව නං තීන්ත ගාල ගෙවල් සුද්ධ බුද්ධ කරන්නේ මක්කටෙ යි?”

එසේ කී වෙදමුත්තා ඉන් අනතුරු ව පසුවූයේ කොහේදෝ බලාගත් ගමන් ය. පි‍්‍රයංජන් හිඳ සිටියේ ඒ බැල්මට හසුවන මානයේ ය. කන්තෝරු කාමරයේ දොර විවර ව තිබු අතර, ලියන මේසය අසල වූ කැරකෙන පුටුව මත ඔහු සිටියේ පැද්දෙමිනි. පි‍්‍රයංජන් අත වූ ලිපි ගොනුවේ’ජ්ඥචඵඪඡඪතඪබර අඥනධපබ’ යනුවෙන් ෆෙල්ත් පෑනකින් ලියූ ලොකු අකුරු පෙළ පවා එතැනට පැහැදිලි ව පෙනිණ.

දුරකථනය හඬ තලන්නට වූයේ ද ඒ මොහොතේ ය. ශ්වේතා රිසිවරය අතට ගත්තා ය. ‘හෙලෝ රෝසි අක්කා’ යි කී ඈ, තත්පරයක් - දෙකක් නිහඬ ව සිටියේ අන්දමන්ද වූ අයුරිනි. ව්‍යාජ සිනාවකින් හැකිළුණු ඇගේ දෑසේ ප‍්‍රශ්නාර්ථය මතු ව නැඟිණි. අනතුරු ව ඒ බැල්ම යොමු වූයේ පි‍්‍රයංජන් වෙත ය. නො පහන් බැල්මකින් යුතු ව ඔහු ඇයට පිළිතුරු සැපයූවේ අභිරූපණ රංගනයක යෙදෙමිනි. ඒ ආංගික අභිනයෙන් පළ කෙරුණේ ‘මං නැහැ යි කියන්න’ යන්න ය.

“අනේ රෝසි අක්කි, එයා තාම ගෙදර ආවේ නැහැ නේ.”

රිසිවරය තැබූ ශ්වේතා හොරැහින් බලද්දී වෙදමුත්තා කවිච්චියේ දිග ඇදී කැරකෙන පංකාව දෙස බලා සිටියේ ය. පසුදා අරුණැල්ලේ පිටව යන තුරු ම වෙදමුත්තා කතා කළේ ඉඳහිට ය.

“මුත්තා ආයේ පාරක් එනකොට කෝල් එකක් දාල ම එන්න.” යි ශ්වේතා ඔහුගේ දෙපා වඳිමින් කීවා ය.

“අර මොකටෙ යි? යි වෙදමුත්තා ඇසුවේ සිනාසෙමිනි.

“මෙහේ මනුස්සයන්ට තියන වැඩ රාජකාරිවල හැටියට ඔය ටැලිපෝං නළාව හූ කියන එකත් අලකලංචියක් නෙවැ.”

වෙදමුත්තා රෝසි අක්කාගේ ඇමතුම නිසැකව ම ශ‍්‍රවණය කරන්නට ඇතැ යි ශ්වේතාට සිතිණි. පි‍්‍රයංජන් හා රෝසි අක්කා එකකුස ඔත් සොයුරු සොයුරියන් බව වෙදමුත්තා දැන සිටින්නේ දැයි සිතූ ඇගේ සිත හේබා ගියේ ය.

“නෑ ඉතිං මුත්තට තේරෙනව නේ? ටවුන්වල ඉන්න අයට දැං ඉස්පාසුවක් ඇත්තෙ ම නෑ. රට දැං හුඟක් වෙනස්.”

“හැබෑ ම නේන් නං. රට නො සෑහෙන්න වෙනස් වෙලා තම යි. ඒ විත්තියක් හරියට ම පේන්නේ සිදාදියට ආපුහාම.” පන්මල්ල ද ගෙන මිදුලට බට වෙදමුත්තා කීවේ ය.

“ඔව් මුත්තේ, රට වගේ ම ලෝකේත් දැං හුඟක් වෙනස්. හුඟක් දියුණු යි.”

“දියුණුවෙලා තියෙන්නේ කවු ද?”

ඇය මොහොතක් පාෂාණිභූත ව සිටියේ එය අනපේක්ෂිත ප‍්‍රශ්නයක් වූ නිසා ය. වෙදමුත්තාගේ සිනාසෙන දෑස් දිගින් දිගට ම පැවතුණේ ඇය ලුහුබඳිමිනි.

“පොඩි දුවේ, මං උඹෙන් ඒ ඇහුවේ ප‍්‍රශ්නයක්?”

අලුත් තුන්තේරවිල්ලක් කියා දෙන්නට වෙදමුත්තා අර අඳින්නේ දැයි ඇයට සිතිණ. ඒ ඔහුගේ පරණ කතාන්දර සිහිපත් වූ නිසා ය.

“මං මේ අහන්නේ උඹල යි පාඩම් පොත්වල තිබුණ ජාතියේ ලේසි ප‍්‍රශ්නයක්. නිකං බාලාංශ ප‍්‍රශ්නයක්.”

ශ්වේතා අන්දමන්ද ව බලා සිටියා ය. ඇගේ හිස බරවී, ඇලවී තිබුණේ දකුණු පැත්තට ය. වෙදමුත්තාගේ දත් අඩු මුඛය සිනාවකින් පළල් වී තිබූ නිසා ඇයට සිතුණේ ඔහු විහිළුවකට අරඅඳිමින් සිටින බවකි.

“මේ ලෝකේ ජීවත්වෙන මිනිස්සුන්ගේ ලොකු ම උවමනාව, පොතේ බාසාවෙන් කියනව නං මූලික ම අවශ්‍යතාව මක්කැ යි දරුවෝ?”

“ඕක නො දන්නේ කවු ද මුත්තේ? එක වාතය, දෙක ජලය.”

“හරි ඉතිං. අපි මේ ආශ්වාස කරන වාතේ, එතකොට බොන වතුර ටික වැඩියේ හොඳට තිබුණේ ඉස්සර ද? එහෙම නැත්තං දැන් ද? එතනිං ගියා ම මේ මනුස්සය වැඩි ආයුෂ වැළඳුවේ එදා ද? නැත්තං දැන් ද? එතකොට කප්පරක් ලෙඩ රෝග අරගෙන මාරයා පනහ හැට වෙනකොට ම අඬගහගෙන ළඟට එන්නේ ඉස්සර ද? නැත්තං දැන් ද? ඉතින් ඔය දියුණුවෙලා යි කියන්නේ මනුස්සයා ද? වෙන මොකක් වත් ද?

නමුණුකුල කඳුමුදුනින් ඉරක් මෙන් මතුවී වලාකුළක් මෙන් බොඳවී යන මීදුම් රේඛාව දෙස ශ්වේතා බලා සිටියේ දෙතුන් දිනක පටන් සිතට වධ දෙන ඒ උභතෝකෝටිකය ගැන සිතමිනි. මේ ප‍්‍රශ්නය පි‍්‍රයංජන්ට ඉදිරිපත් කළහොත් ඔහුගේ පිළිතුර කුමක් වනු ඇද්දැයි සිතාගත නොහැකිය.

“ශ්වේතා?”

පි‍්‍රයංජන්ගේ හඬ ඇගේ දැහැන බිඳ හැරියේ ය. කමිස අතක් නමාගෙන පතරාසය සඳහා මේසයට හිඳ සිටි පි‍්‍රයංජන් වතුර වීදුරුව ද අතැතිව බලා සිටියේ ඇය එන තුරු ය.

“කෝ මගේ ටැබ්ලට් ගෙනාව නේද ඔයා?”

ඈ නිදන කාමරයට දිව ගියා ය. අධි රුධිර පීඩනය සමනය සඳහා පි‍්‍රයංජන් දෛනික ව පාවිච්චි කරන ඔහුගේ ‘ලයිෆ් ටයිම් ටැබ්ලට්’ ඇත්තේ ඇගේ අත්බෑගයේ ය. දුර බැහැරක යන සැමවිටක ම වතාවතක් මෙන් ඒවා අත්බෑගයේ රුවාගැනීම භාර වී ඇත්තේ ඇයට ය.

ඊයම් වැස්මෙන් පන්නාගත් බෙහෙත් පෙති අත්ලට හලද්දී ඇයට යළිත් වරක් වෙදමුත්තා සිහිවිණි. සුශ‍්‍රැත සංහිතාවේ එන සංස්කෘත පාඨයක් කටපාඩමින් පැවසූ වෙදමුත්තා, එහි අරුත පැහැදිලි කළ අයුරු ඇය සිහිකළා ය.

ලෝකය දරා සිටින්නේ හිරු, සඳු හා වාතය ය. ඒ පැතිරවීම, ඇදගැනීම හා චලනය යන ති‍්‍රත්ව කාර්ය ඔස්සේ ය. සිරුර දරා සිටින්නේ ද වා, පිත්, සෙම් යන ති‍්‍රදෝෂය ය.

පි‍්‍රයංජන් අනුදත් වෛද්‍ය විද්‍යාවට මෙය කෙතරම් දුරට අනුකූල වනු ඇද්දැ යි ඈ සිතා බැලුවා ය. කෙසේ වෙතත් ඖෂධ සමඟ යාවජීව සබඳතාවකට ඔහු මුල පුරා සිටින්නේ ජීවිතයේ තුන්වන දශකය ඉක්මවන්නට ද කලිනි.

“ඒ කාලේ බුදු හාමුදුරුවෝ අබමිටක් ගේන්න යි කියල කිසාගෝතමීට කිව්වේ, මිනිහෙක් නො මළ ගේකිං. මේ කාලේ වගේ නං උන්නාන්සේ අබමිටක් ඉල්ලා හිටින්නේ බේත් පෙත්තක් නැති ගේකිං.” යි වෙදමුත්තා විහිළුවට වාගේ කීවේ පි‍්‍රයංජන් බේත් පෙති ගිලින අයුරු දුටු මොහොතේ ය.

“කෝ... මොක ද කරන්නේ? ඔය ටැබ්ලට් ටික ගේනවා ඉක්මන් කරලා.”

ශ්වේතා නො පමාව දිව ආයේ බංගලා භාරකරු හමුවේ නො සරුප් වදනක් එළි දකිනු ඇතැ යි බියෙනි. ඈ කිසිවක් නො කියා ම බේත් පෙති කිහිපය මේස ලෑල්ල මත හෙළුවා ය. ඔහු යළි දුරස්ථ පාලකය අතට ගත්තේ ය. රූප පෙට්ටියෙන් වාදනය වෙමින් තිබුණේ අගක් මුලක් කොනක් පොටක් පාදාගත නො හැකි විසිරුණ තේරුම් සහිත රබන් පදයකි.

හොඳ හොඳ කුක්කං - ගමගෙට දක්කං
තෙමිච්ච කුකුළන් - මිදුලට දක්කං
ලොක්කන් බක්කන් - කොළඹට දක්කං

https://archives.silumina.lk/punkalasa/20090412/_art.asp?fn=ar0904122

Nissanka Rajapaksa

unread,
Apr 16, 2024, 9:03:08 PMApr 16
to INDRAKA group
15
සමුගැනීම 

ලීලානන්ද වික‍්‍රමසිංහ

තරුණ යුවළ එක්තරා රිද්මයකට පා තබමින් රතු පලසක් අතුරා තිබූ පියගැට පෙළ ඔස්සේ උඩු මහලට නගින්නට වූහ. ඔවුන්ට නියමිත කාමරය තිබුණේ උඩු මහලේ වූ පටු වරණ්ඩයේ කෙළවරට වන්නට ය. තරුණයා තම අතෙහි වූ යතුරෙන් කාමරයේ දොර විවර කොට පසෙකට විය. තරමක තෙහෙට්ටු ගතියක් පෙන් වූ තරුණිය බිමට නැඹුරු වූ මුහුණින් යුතු ව කාමරයට ඇතුළු වූ පසු ඔහු හඬ නොනැගෙන සේ දොර වැසී ය.

මනා ලෙස ඉඩකඩ සහිත ව ඉතා අලංකාර ලෙසත් ක‍්‍රමානුකූල ලෙසත් පිළියෙළ කොට තිබූ කාමරය අතිශයින් දැකුම්කලු විය. ලා නිල් පැහැයෙන් පින්තාරු කොට ඇති බිත්තිවල තැවුරුණු මඳ ආලෝකය නිසා එය කොතරම් පැහැපත් වූයේ ද යත් එය අත ගා බැලීමට පවා සිත් වෙයි. අගනා තිර රෙදිවලින් වට වූ පුළුල් ජනේලය එපිටෙන් වූ විසල් ජලාශය දෙසට මුහුණ ලා පිහිටා තිබිණි.

තරුණයා ජනේලය වෙත ගොස් එය විවෘත කොට පිටත බැලී ය. බැස යන රන්වන් හිරු එළිය වැටීමෙන් ආලෝකවත් වූ ජලතලාව රන් වතුරක් සේ දිලෙයි. ජලතීරයෙන් එපිට දිස් වූ ලා අළුපැහැති කඳු මුදුන් ද වන රොද ද පැළ දිග අහසෙහි පින්තාරු කරන ලද චිත‍්‍රයක් මෙන් දිස් විය.

තරුණිය සුව පහසු ඇඳෙහි කොනකට වී ඉඳ හිස පහතට නමාගෙන කල්පනා සහිත ඉරියව්වකින් සිටිනු ජනේලය දෙසින් මෑත් වූ තරුණයා දුටුවේ ය.

ඔයාට හුඟක් මහන්සි පාටයි. කරදර වෙන්න එපා. ටිකක් ඇලවෙලා ඉන්න. එතකොට හරි යාවි. ඔහු මුදු හඩින් කීවේ ය.

තරුණිය කිසිවක් නොකියා නිහඬ ව සිටිවන ම සිටියා ය. තරුණයා ඒ ගැන එතරම් සැලකිල්ලක් නොදැක් වූ අතර ඉතා විනීත ලෙස ඇඳුම් මාරු කරගෙන නාන කාමරය වෙත ගමන් කළේ ය.

නාන කාමරයට ඇතුළු වූ තරුණයා එහි දොර වසා දොරට හේත්තු වී මඳ වෙලාවක් සිටගෙන සිටියේ ය. විවාහයට පෙරාතු ව ඇය මෙවැනි ලැගුම්හලකට කැඳවා ගෙන ඒමෙන් තමා නොමනා කි‍්‍රයාවක් කරන ලද්දේ යැයි යන හැඟීමෙන් ඔහු කම්පාවට පත් විය. ඇය තොන්තුවාවෙන් මෙන් සිටින්නේ ඒ නිසා විය හැකි යයි ඔහු සිතුවේ ය.

කඳුකරය වෙත පැමිණි මේ දිගු ගමනේ දී මෝටර් රථයේ තමාගේ පසෙකින් ඉඳ සිටි ඇගේ මුහුණ මලානික ව පැවැති බව ඔහුට මතක් විය. එහෙත් ඒ මලානික බව ගමනේ වෙහෙස නිසා ඇති වූවක් නොවන බව ඔහුට ඒ වනවිටත් ඒත්තු ගොස් තිබිණි.

වැර වෑයමින් ඉහළ නැඟී දිළිඳු පවුලකින් පැවත එන තරුණයා ජීවන ගමනේ හමු වූ කටුක අත්දැකීම්වලින් තැලී පොඩි වී මනාකොට පදම් වූ සිතක් ඇත්තෙක් වූයේ ය. තම වයසට වඩා බෙහෙවින් තැන්පත් බවක් පෙන්වූ ඔහු ලෙහෙසියෙන් කිසිවක් නිසා කලබලයට පත් වන්නෙකු නොවේ. ඔහුට මේ අපූරු ස්වයංදමනය උරුම වූයේ කම්මල් කරුවකු වූ ඔහුගේ පියා ගෙනි. ගින්නෙහි වූ වානේ කඳක් ඉන් ඉවතට ගෙන කිණිහිරය මත තබා මනා සංයමයකින් යුතු ව තලන තාත්තා දෙස ඔහු බලා සිටි වාර අනන්ත ය.

ඔහු කරාමය කරකවා ගලා යන සිහිල් ජලයට හිස ඇල්ලුවේ ය. සීතල ජලය සිරුරත් සිතත් නිවා දමමින් ඔහු වසා වැගිරෙන්නට විය.

ඔහු නැවතත් කාමරයට පැමිණෙන විට ඇය සිටි ඉරියව්වෙන් ම සිටිනු ඔහුට පෙනිණි. එහෙත් ඔහු දුටු වහා ම ඇය සෙමින් සෙමින් වරලසෙහි ගසා ඇති කටු එකිනෙක ගලවන්නට වූවා ය. කිසිවෙක් මේ වෙලාවේ දොරට තට්ටු කළේ ය. හිස පීරමින් සිටි තරුණයා මොහොතකට එය නවතා දොර වෙත ගොස් එය විවෘත කළේ ය.

“සර් රෑ කෑම මෙහාට ගේනවද? නැත්නම්...”

“නෑ අපි පහළට එන්නම්”

“එහෙම හොඳයි නේද රාධා? සේවකයා නික්ම ගිය පසු ඔහු ඇගෙන් ඇසුවේ ය. ඇය හිස සැලුවා ය.

ඉන් මඳ වේලාවකට පසු ඔව්හු පහත මාලයෙහි භෝජනාගාරය වෙත ගියහ. තැනින් තැන පිළියෙල කොට ඇති සුදු ඇතිරිලි සහිත මේස වටා ඉඳ ආහාර ගනිමින් සිටි අයගෙන් ඇතැමකු හිස් ඔසවා තමන් දෙස බලනු ඔහුට පෙනිණි.

ලා නිල් පැහැති සැටින් ගවුමක් ඇඳ සිටි ඇගේ වතින් මුදු ලාලිත දිස්නයක් විහිදෙන්නාක් මෙන් විය. ඔව්හු ශාලාව කෙළවර වූ මේසයක් වෙත ගමන් කොට එහි වූ අසුන්වල ඉඳ ගත්හ.

“මෙතැන හරි ලස්සන තැනක්” තරුණයා ඉදිරියට නැමෙමින් කීවේ ය. ඕ මද සිනා පහළ කළා ය.

“ටිකක් තෝන්තු වෙලා වගේ ඉන්නේ ඔයාට මොකුත් අසනීප ගතියක් දැනෙනවාද? තරුණයා එවර ඇසී ය.

“නෑ මට එහෙම අසනීපයක් නෑ. ටිකක් ගමන් මහන්සිය නිසා වෙන්න ඇති එහෙම පේන්නෙ.”

ආහාර ගන්නා අතරතුර හිස ඔසවා බැලූ ඇතැම් විටක ඈත අසුනක සිටි කිසිවෙකු තමා දෙස ඕනෑකමින් බලා සිටිනු ඇයට පෙනිණි. එහෙත් ඒ බලා සිටින්නේ තමා දෙස නොව තමා පිටුපසින් වූ කිසිවක් දෙස විය හැකි යයි සිතූ ඇය පසුපස හැරී බැලුවා ය.

ඊට ටික වේලාවකට පසු ඇය නැවතත් හිස ඔසවා බැලූ විට ඒ තැනැත්තා තමා දෙස බලනු ඇයට පෙනිණි. ජීවිතකාලය පුරා තමා හොඳින් දන්නා අයෙකුගේ මුහුණුවරක් ඒ තැනැත්තා සතු වූ බැවින් ඇය කලබල වූවා ය.

“කවුරු හරි අපේ දිහා බලන් ඉන්නවා.” ඇයට එක් විට ම කියවුණේ වැඩිදුර සිතා මතා නොවේ.

“කවුද?” තරුණයා හිස හරවා බලමින් ඇසුවේ ය.

කෝ එහෙම කෙනෙක් නෑ. සමහර විට ඔයාගේ සිත කලබල වෙලා. කවුරු හරි අර චිත‍්‍රය දිහා බලනවා වෙන්නැති” ඔහු ඇය පිටුපසින් බිත්තියේ ඇඳ තිබූ කාන්තා රූපය සහිත සිතුවම පෙන්වමින් කීවේ ය.

“ඕ! එහෙම වෙන්නැති” යි ඕ හැරී බලා සිනාසෙන්නට තැත් කරමින් කීවා ය. මුලින් හැරී බැලූ විට ඒ චිත‍්‍රය තමාට නොපෙනී ම ගැන ඕ මවිත වූවා ය.

භෝජනාගාරයේ වැඩිවේලාවක් ගත නොකළ ඔවුහු ආපසු කාමරයට ආහ. තරුණයා කාමරයට යාබද ව ඇති පටු වරණ්ඩය වෙත ගොස් එහි ගරාදි වැට මත වාඩි වී පිටතින් පෙනෙන ජලාශය දෙස බලා සිටින්නට විය. අනතුරු ව ඇය ද ඔහු වෙත පැමිණියා ය.

සඳ එළිය වැටීමෙන් ජලතීරය එක ම රිදීවලාවක් මෙන් දිස් විය. අවට බොහෝ සේ නිහඬ ව තිබිණි. ජලාශයට ඔබ්බෙන් ඈත කඳු වැටිය දෙසින් කිසියම් නිශාචර පක්ෂයකු කෑගසන හඬක් ඇසිණි. අවට පරිසරයේ කිසිවකු නොමැති ලොව තමන් දෙදෙනා පමණක් තනි වූ බවක් ඔවුනට හැඟී ගියේ ය.

ඕ මඳක් හිස ඔසවා ඔහු දෙස බැලුවා ය. බෙහෙවින් නිවුණු හදවතක් ඇති තරුණයාට වූයේ ඉතා විනීත හැසිරීම් රටාවකි. ඔහු සතු වූ කාරුණික බව ඔහුගේ පිරුණු සිරුර හා නොගැළපෙන්නාක් මෙන් පෙනුණේ ය.

“මට ඔයාට කියන්න කාරණයක් තියනවා” ඇය සන්සුන් ලෙස කීවා ය. ඇගේ පසුබාන සුලු වෙව්ලන කටහඬ ඔහුට ඇසුණේ ඉතා ඈතින් ඇසෙන හඬක් ලෙසිනි. ඔහු මඳක් ඉදිරියට නැමී ඇය දෙස බැලුවේ ය

“ඔයා මට සමාවෙන්න ඕන මම මේ කියන්න යන දේ ගැන. මට ඔයා ව කසාද බඳින්න වෙන්නෙ නෑ” ඇය මුදු හඩින් කීවා ය. මට ඒ ගැන ඇත්තට ම හුඟක් කනගාටු වෙනවා. මම කවදාවත් මේ වගේ ගමන්වලට කැමැති නැහැ. ඒත් මම හිතුවා මෙහෙම ආවොත් මට ඔයාට මේක කියන්න ධෛර්යයක් ලැබේවි කියල. මම වෙනත් කෙනකුට කාලෙක ඉඳල ආදරය කරනවා. ඇත්ත ම කියනවා නම් මගේ ළඟ දැන් මගේ හදවත නෑ. තියෙන්නෙ මේ ඔබට පේන සිරුර විතරයි. මට දෑන් ඒ තත්ත්වයෙන් මිදෙන්න බෑ.

“මම දන්නවා ඔයා යම් දෙයක් තේරුම් ගන්න පුළුවන් කෙනෙක් බව. පසුගිය දවස් ටිකේ ඔයා ඇසුරු කිරීමෙන් මම ඒක තේරුම් ගත්තා.”

හදිසියේ හිසට පහරක් වැදුණු කලක මෙන් ඔහු තිගැස්සී ගිය ද පුරුදු පුහුණු කර ඇති ජීවිත සංයමය යොදා ඔහු තමා ව මුළුමනින් ම පාලනය කර ගත්තේ ය.

“මට තේරුම් ගන්න බැහැ ඇයි ඔයා එක පාරට ම මෙහෙම කියන්නේ කියල. අපි ආපු මේ ගමන ගැන ඔයා අහිතක් හිතුවද?” ඔහු කල්පනාවෙන් යුතු ව ඇසුවේ ය.

“අනේ නෑ. මම එහෙම හිතුව නම් මම මෙහෙම ඔයත් එක්ක එන්නෙ නැහැ නේ කෘෂ්ණ” ඇය පළමු වරට ඔහුගේ මුල් නම භාවිතා කරමින් කීවා ය.

“මම කොහොමත් ඒ ගැන නම් හිතුවෙ නැහැ. මම දැන ගෙන හිටියා ඔයා විශ්වාසවන්ත කෙනෙකු බව. මම වෙන කෙනෙකුට අයිති කෙනෙක්. මම එයාට ආදරය කරනවා. එයා දැන් ඉන්නෙ පිටරට. මේ කිසි දෙයක් එයා දන්නෙ නැහැ. මම වංචාකාරියක් වගේ ඔයාට කැමැත්තෙන් වගේ මෙහෙම ඇවිත් ඉන්න එක මට දරාගන්න බැහැ.”

“ඒත් රාධා...! අපි දැන් විවාහ ගිවිසුමකින් බැඳිලා.”

“මම දන්නවා. මම ඒ ගැන හුඟාක් කනගාටු වෙනවා මේ විදියෙ තීරණයක් ගන්න සිදුවුණාට. එහෙම නැතුව ඔයත් එක්ක ඇවිත් මුළු ජීවිතය ම ඔයා ව රවටනවාට වඩා මේක හොඳයි. මට ඔයා ගැන ලොකු පැහැදීමක් මේ දින කීපයෙ ඇති වුණා. මම කවදාවත් ඔයාගෙන් මේ වගේ ගතිගුණ බලාපොරොත්තු වුණේ නැහැ. මම හිතුවාට වඩා මට ඔයා හොඳ වැඩියි. ඒකයි ඉක්මනින් ම මේ ටික ඔයාට කියන්න හිතුවේ. වෙන කෙනෙකු ගැන දිවා රෑ සිතමින් ඔයත් එක්ක ඔයාට ආදරය කරන බව රඟපාමින් රැවටිලිකාර ජීවිතයක් ගත කරන එක් පාපයක් කියලා මම හිතුවා. ගිවිසුමක් වගෙ බොරු ලියවිල්ලක් නිසා සිදුවුණු වැරදීමක් නිවැරැදි කිරීමට මේ වගේ පුංචි වැරැද්දක් කළාට කමක් නැහැ කියලා මට හිතුණා. මට ඔයාගේ මුළු ජීවිතය ම විනාශ කරන්න බැහැ.”

“මට තේරෙනවා” ඔහු ඈත ජලාශය දෙස බලාගෙන කීවේ ය.

“ඒත් ඒක පහසු දෙයක් නෙවි. මම අහසින් පොළොවට වැටුණු ගානයි. ඔබට මේ ගැන මට කලින් කියන්න තිබුණා.”

“මට සමාවෙන්න. මම මේ බව අඟවන්නට පසුගිය කාලෙ කීපවරක් ම උත්සාහ කළා. ඒත් ඒකට සුදුසු අවස්ථාවක් ආවෙ නැහැ. ඒ අතර මේ කටයුතු ඉක්මන් වුණා. මට ඒකෙන් ගැලවෙන්නට බැරි වුණා.”

“මම දන්නවා මම කරන්නේ සමාව දිය නොහැකි වරදක් බව. ඒත් මට කරන්න දෙයක් නැහැ. මේ වනතෙක් මම මගේ හිතත් එක්ක ලොකු අරගලයක් කරමිනුයි සිටියෙ. මගේ දෙමාපියන් ගැන හිතලයි මම මේකට එකඟ වෙන්න හිත හදා ගත්තෙ. ඒත් මට දැන් හිතෙනවා මම කරන්නෙ බරපතළ වංචාවක් බව. මට මගේ හිත රවටා ගන්න බැහැ. මට ඔයා වගේ හිත හොඳ කෙනෙකුගෙ ජීවිතය අමාරුවෙ දාන්න බැහැ.

“ඒක නිසා මම හිතුවා ප‍්‍රමාද වෙලා හරි ඔයාට මේක කියන්න ඕන කියලා” ඕ කීවා ය.

ඔවුහු මඳ වෙලාවක් නිහඬ ව ඉවත බලා සිටියහ. සීතල සුළඟක් හැමී ය. එහෙත් ඉන් අවට වසා පැතිරී තිබුණු නිහඬතාවයට බාධාවක් නො වී ය. එකිනෙකාගේ හදවත් ගැහෙනා හඬ උනුනුන්ට ඇසෙනා තරමට ඒ නිහඬ බව බලවත් විය. ඇය යළිත් කතා කළා ය.

“මම විශ්ව විද්‍යාලයේ ඉදිද්දියි එයා අඳුනා ගත්තේ. පහතරට දුප්පත් පවුලක කෙනෙක්. අපේ අම්මලාට එයාගෙ දුප්පත්කමත් පහතරට කමත් විස වුණා. හිතුවක්කාර වෙලා කටයුතු කළොත් වැවට පනිනව කියල අම්ම කිව්ව. මට මගේ මවුපියන් අහක දාන්න බැරිවුණා. රෝමියෝ ජුලියට්, සාලිය අශෝකමාලා, ගැන මම අහල කියවල තිබුණා. ඒත් ඒ තරම් සාහසික ඉමකට යන්න තරම් මගේ සිත බය වුණා.”

“මම හරියට නැවක යනකොට මුහුදට තල්ලු කරල දැමීම ගානට වැටුණා. ගෑනු ළමයෙකු වී ඉපදීම ගැන මම කවදාවත් දුක් වුණේ නැහැ. ඒත් දැන් මට තේරෙනවා. මොනතරම් වාරණ තහංචි දොස් පරොස් අපවාද මැද ද අපට ජීවිතය ගෙවන්න වෙලා තියෙන්නෙ.”

අපට අපේ ජීවිතය ගැනවත් හරි හමං තීරණයක් ගන්න බෑ. ඒවා ගන්නෙ අනිත් අයට ඕන විදියට. ඔයාට තේරෙනව ඇති මං කියන දේ, අරාබිකරයෙයි ලංකාවෙයි කියල වෙනසක් නෑ. පිහියෙන් ඇනල මරල දානව වෙනුවට මුළු ජීවිතය ම ලේ ගොඩක් කරනව.”

ඉකි ගැසීමක් වැනි හඬක් මතු වූයෙන් ඕ කතාව මඳකට නතර කළා ය. ඇගේ දෑස කඳුළින් තෙමී කටහඬ අක‍්‍රමවත් ස්වභාවයක් ගත්තේ ය. ඔහුට ඇගේ හඬ ඇසුණේ ඉතා ඈත සිට කිසිවෙකු කෑ ගා කියන්නාක් මෙනි. එමෙන් ම ඔහුගේ සිතට නිතැතින් නැඟී ආවේ ඔහුගේ වැඩිමල් සොහොයුරාගේ බිරියගේ උද්ධච්ච ගති පැවතුම් ය. දබරයක් මතු වූ සෑම අවස්ථාවකදී ම ඔහුගේ පැරැණි සම්බන්ධකම් ගැන කියමින් ඕ ඔහු අවමානයට පත් කළා ය. තරුණයාට තමා කෙරෙහි ඇති වූයේ බලවත් ආත්මානුකම්පාවකි.

“ඔයා අවංක ව කතා කරපු එක හොඳයි” අවසානයේ තරුණයා කියා ගත්තේ ය. “ඔයාට ඕනෑ කරල තියෙන්නෙ අපේ කසාදෙ මෙතැනින් නවත්තන්න නම් මට ඒක බලෙන් ගෙන යන්න ඕන නැහැ. ඒත්...”

“මම දන්නවා කෘෂ්ණ ඔයා කියන්න හදන දේ ඔයා කොහොමද දෙමාපියන්ට මුහුණ දෙන්නෙ, කොහොමද මේක ඒ ගොල්ලන්ට කියන්නෙ කියලනෙ. ඒ ගැන කරදර වෙන්න එපා. මේක මගේ වැරැද්දක් විදියට මම බාර ගන්නවා. ඔයා කියනවා නම් ඒ ඔක්කොම ඉස්සරහ මම ඒක පිළිගන්නම්. එච්චරයි.”

“එපා!” ඔහු දැඩි ස්වරයෙන් පැවසුවේ ය.

අහස් තලය ඉතා පැහැදිලිව දිස් විය. තරු පිරිවරා ගත් පුන්සඳ මඩල අහස්තලය මැද විරාජමාන විය. සිතෙහි වූ වේදනාත්මක බරක් සැහැල්ලු වී ගියාක් මෙන් ඔහුට දැනෙන්ට විය. තමා හා එක් ව විසීමට නොකැමැති බිරිඳකගේ හදෙහි වූ කැකෑරෙන සාපයකින් මිදෙන්නට ලැබීම ගැන සතුටක සේයාවක් ඔහුගේ සිතේ ඇඳී ගියේ ය. අවමානාත්මක පාඩුවක ලකුණත් මතු වුව ද එය විය යුතු පරිද්දෙන් නිමා වීම ගැන සැහැල්ලුවක් ඔහුට දැනිණි.

“දැන් රෑ වෙලා නෙ අපි නිදා ගන්න යමු.” ඔහු උන්තැනින් නැඟිටිමින් කීවේ ය.

“ඔයා ඇඳේ නිදා ගන්න. මට මේ කැන්වස් පුටුව හොඳයි” කාමරයට පිවිසි ඔහු මඳ සිනා ඇති ව කීවේ ය.

“නෑ. එහෙම හොඳ නෑ. මේක ඔයාට අයිති ඇඳ මට අයිති නෑ. ඔයයි ඒකෙ නිදාගන්න ඕන.” මම බිම නිදා ගන්නම්.”

“එහෙම කියන්න එපා. ඒක මට හරි නෑ. ඔයා මගේ අමුත්තියක් කියලා හිතා ගන්න. මම මගේ ඇඳ ඔයාට දෙනවා” ඔහු සිනාසෙමින් කීවේ ය.

පසුදා උදෑසන ඕ කලින් ම නැගිට වේටර් තැන විසින් ගෙනෙන ලද තේ පිළියෙල කළා ය. ඉක්මනට ඔව්හු ඇඳ පැළඳ පිටත් ව යනු පිණිස දොරටුව වෙත ගමන් කළහ.

කලින් කතා කර ගත්තාක් මෙන් දොරටුව අසල උනුනුන්ට මුහුණ ලා සිටියහ. අනතුරු ව එක ම සිතුවිල්ලක් දෙදෙනාට ම ඇති වූ ලෙසක් දැනී ඕ ඔහු වෙත ළං වී මඳක් එසවී ඔහුගේ කම්මුල සිප ගත්තා ය.

“ඔයාට තියෙන්නෙ දෙවියන්ගෙ නමක් කෘෂ්ණ. ඔයාට හොඳට ඒ නම ගැළපෙනවා. ඕ ඉතා දයාබර හඩින් කීවා ය.

ඇගේ සීතල දෙතොල් ඉතා මුදු ලෙස ඔහුගේ කම්මුලේ තැවරිණි. ඉන් නිකුත් වූ විදුලි සැරයක් බඳු වේදනයක් මුළු සිරුර පුරා දිව යන්නාක් මෙන් ඔහුට දැනිණි. ඔහු සෙලින් කළ රුවක් මෙන් සිටිවන ම සිටියේ ය.

තමාට හිමි වූ කිසියම් දෙයක් හදිසියේ නැති වූ කලක මෙන් මහත් වේදනාවෙන් ඇඹරෙමින් පෙරදා මුළු රැය ම ඔහු නිදි වර්ජිත ව සිටියේ ය. දෙමාපියනට මේ ගැන දැන්වීමේදී ඇතිවන අවමානාත්මක වේදනාවට වඩා එයින් ඇති වූ වේදනාව ඉතා බලවත් විය.

“දැන් ඉතින් අපි දෙන්නාට සමු ගන්න වෙලාව ඇවිත්” ඕ මුදු හඩින් කීවා ය.

තරුණයා හදිසියේ කිසිවක් සිහි වූවාක් මෙන් ඇය තමා වෙතට ළංකර ඇගේ නළල සුමුදු ලෙස සිප ගත්තේ ය. ඉන් අනතුරු ව ඔවුහු රතු පලස එලූ පිය ගැට පෙළ දිගේ එක්තරා රිද්මයකට පා තබමින් පහතට බසින්නට වූහ.

https://archives.silumina.lk/punkalasa/20090329/_art.asp?fn=ar0903293

Nissanka Rajapaksa

unread,
Apr 17, 2024, 8:30:08 PMApr 17
to INDRAKA group
16
බාල් කාක් සහ නෝනෝ

ඉන්දීය ලේඛක වේද් රාහීගේ කෙටි කතාවක්


සිංහල අනුවාදය : බොබි ජී. බොතේජු

වෙශ්‍යාඛ මාසය අවසන් වන්ට ආසන්න ව ඇත. උණුසුම් සුළඟ හමා යාම ආරම්භ වී ඇත. නොනෝ සිමෙන්ති පොළවට බඩ තද කරගෙන සිව්පා විහිදාගෙන දිග ඇදී සිටියේ ය. ඌ හුස්ම ගන්නා බවක් පෙනෙන්නට නැත. ජීවිතය හැරගොස් ඇතිවාක් මෙනි.

නෝනෝ ගේ දුක්මුසු තත්ත්වය දෙස සුන් වූ බලාපොරොත්තුවලින් යුතු ව බාල් කාක් බලා සිටියේ ය. ඔහුගේ දෑස්වලින් කඳුළු කඩා වැටිණ. හෙතෙම ෂෙරිකා මාතාවට කන්නලව් කළේ ය.

සියල්ල මේ තත්ත්වයට පත්වේයැයි සිතන්නේ කව්ද?

සිව් වසරකට පෙර හේ වන රක්ෂණ දෙපාර්තමේන්තුවේ පණිවිඩකරුවකු ලෙස සේවය කළේය. ඔහුගේ රාජකාරි ස්ථානය වූයේ ලඩාක් නගරයයි. ලෝසාර් උත්සවය සඳහා පැමිණ සිටි මහලු ලාමාවරයකු ගෙන් නොනෝ ව ඔහුට තෑගි වශයෙන් ලැබිණි. බල්ලා ව ඔහුට බාර දෙමින් ලාමා මෙසේ පැවසුවේ ය. “මේකා ටිබෙටියන් වර්ගයේ එකෙක්. ලාසාවලදී ඌව මිලට අරගන තිබුණා. මේ සතා හැමවිට ම වාසනාව ගේනවා.”

ඒ දිනවල හෙතෙම තනිව ම වාසය කළේ ය. ඔහුට තනිවට සිටියේ බල්ලා පමණි. හේ නෝනෝ නමින් බල්ලාට නම තැබුවේ ය. තමන්ගේ දරුවන්ට අසල්වැසියන් නෝනෝ යනුවෙන් අමතනු ඔහු නිරීක්ෂණය කර තිබිණි.

නෝනෝ ප‍්‍රමාණයෙන් කුඩා සත්ත්වයෙකි. උගේ ලෝම දිගට ඇදි තිබුණි. උගේ ඇස් හැමවිට ම ලෝමවලින් වැසී ඇත. ඌ නිතර ම තම අත්වලින් ලෝම පිරිසිදු කර ගත්තේ ය. ලඩාක්වල තනිව සිටි බාල් කාක් ගේ තනිකම දුරු කරනු ලැබුවේ නොනෝයි. ඔහු බලු පැටවා තමා අසලින් නිදි කරවා ගත්තේ ය. ඌට කන්නට දීම ඌ සමඟ කතා කිරීම සහ සමහර දිනවල ඌට ඇසෙන්නට කතාන්දර කියා දීමට පවා හෙතෙම පුරුදු ව සිටියේ ය.

පසුගිය වසරේ විශ‍්‍රාම ගැනීමෙන් පසු හේ නොනෝවත් රැගෙන තම ගම් ප‍්‍රදේශය වූ ශී‍්‍ර නගර්වල සයන්දාර් ප‍්‍රදේශයට පැමිණියේ ය. එහි ඔහුගේ පුත් ගෝපි නාත් සහ ගෝපි නාත් ගේ බිරිඳ වූ රාමා ද වාසය කළහ. ඔවුනට ගෝපාල් නමින් දරුවකු ද සිටියේ ය. කෙසේ වෙතත් බාල කාක්, නොනෝට දැක්වූ ආදරයේ අඩුවක් නොවී ය. අනෙක් අතට ගොපාල්ට, නෝනෝ ජීවමාන කී‍්‍රඩා භාණ්ඩයක් විය. ගෝපාල් තම සීයා සමඟ එක් ව නොනෝ ව බලා ගත්හ.

නෝනෝ, ශී‍්‍ර නගර්වල ජීවත්වීමට කැමැත්තක් දැක්වූවා ය. ශී‍්‍ර නගර්, ලඩාක් මෙන් දරාගත නොහැකි උෂ්ණත්වයක් ඇති නගරයක් නොවේ. ගැටලු ව පැන නැගුණේ ඔවුනට ශී‍්‍ර නගර් අතහැර ජම්මුවලට යාමට සිදුවීමත් සමඟයි.

ශී‍්‍ර නගර්වල පිහිටි තම මුතුන් මිත්තන් ගේ නිවසේ දිගට ම වාසය කිරීමට බාල් කාක් කැමැත්තෙන් පසුවිය. එහෙත් නීතිය කි‍්‍රයාත්මක නොවීමත් ත‍්‍රස්තවාදය වර්ධනය වීමත් එහි වාසය කිරීම දුෂ්කර බවට පත් කළේ ය. ත‍්‍රස්තවාදය කෙතරම් වර්ධනය වූයේ ද යත් ත‍්‍රස්තවාදීහු ගල් ගැසීම වැනි කි‍්‍රයා වෙනුවට භයානක අවි අතට ගත්හ. ගෝපි නාත් තම බිරිඳ සහ පුතා ද රැගෙන කලින් ම පලා ගියේ ය. ඉන් මසකට පසු බාල් කාක්ට ද පලා යාමට සිදුවිය.

මුස්ලිම් අසල්වැසියකු ඔහුට අවවාද කළේ ඔහුගේ ආරක්ෂාව රැඳී ඇත්තේ ඒ ප‍්‍රදේශය අතහැර යාමෙන් බවත් තත්ත්වය පාලනය කිරීමට බැරි තරමට අසතුටුදායක වී ඇති බවත් ය. දුප්පත් මිනිසාට කළ හැක්කේ කුමක් ද? නගරයට ඇඳිරි නීතිය පනවා ඇති අතර පලා යාම ද පහසු කටයුත්තක් නොවී ය. මේ තත්ත්වය යටතේ තමන් සතු සියලු දේ රැගෙන යාමට ඔහුට හැකියාවක් නැත. එහෙත් නොනෝ ව දමා යන්නේ කෙසේ ද? හේ නෝනෝ ව වේවැල් කුඩයක දමාගෙන රැගෙන ගියේ ය.

ඔහු පටු මාවතෙන් පිට ව එන විට ම රළු ගති පැවතුම් ඇති ව සිට දැන් ත‍්‍රස්තවාදීන් බවට පත් ව සිටින තරුණයෝ ඔහුට උසුළු විසුළු කරන්නට වූහ. ඔවුන්ගේ කෙනෙක් මෙලෙස කියනු ඔහුට ඇසුණි. “බලපන් අර තක්කඩියා හුඟක් දේපල අත ඇරල දමල පැනල යනවා. ඒත් අර වැදගැම්මකට නැති බලු තඩිය ව නම් අරන් යනවා” හේ ඒ කිසිවක් ගණනකට නොගෙන ඉදිරියට ගියේ ය. කඩිනමින් බස් නැවතුම්පලට යාමට ඔහුට අවශ්‍ය විය. ඇඳිරි නීතිය ඉවත් කරන්නේ පැය දෙකක පමණ කාලයකට බැවිනුයි ඒ.

ජම්මු නගරයේ දී පෙබරවාරි සහ මාර්තු මස කෙසේ හෝ ගෙවී ගියේ ය. එහෙත් අපේ‍්‍රල් මාසය බාල් කාක්ට හෝ නෝනෝට දරාගත නොහැකි තරම් ඌෂ්ණාධික විය. දෙදෙන ම බියෙන් පසු වූහ. බාල් කාක්ගේ බිය දෙගුණ වූයේ නෝනෝ ගැන සිතීමෙනි. දවස් ගෙවී ගියේ ය. උෂ්ණත්වය ඉක්මනින් වර්ධනය වන්නට විය.

රාති‍්‍ර කාලයේ කිසියම් සහනයක් තිබුණ ද හිරු නැඟීමත් සමඟ ම උෂ්ණත්වය දරාගත නොහැකි තරමට වර්ධනය විය. බාල් කාක් සහ ඔහුගේ මුනුබුරා නිරතුරු ව ම නෝනෝට වතුර ඉසූ නමුත් උගේ හුස්ම ගැනීම අක‍්‍රමවත් විය. උණුසුම් වාතය උගේ හදවතට දරාගත නොහැකි බව පෙනිණි.

වෛශාඛ මාසයේ ප‍්‍රථම කොටස ගෙවී ගියේ ය. එහෙත් තවමත් උණුසුම පහව ගොස් නැත. එදින උදෑසන සිට නෝනෝ සිමෙන්ති පොළවේ දිග ඇදි සිටියේ ය. බාල් කාක් දැඩි අසහනයෙන් පසුවිය. කීප වරක් ඔහුගේ දෑසින් කඳුළු ගලා ගියේ ය. මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට සිදුවන බව දැන සිටියේ නම් ඔහු ලඩාක්වල සිට බල්ලා ව රැගෙන එන්නේ නැත.

බාල් කාක් ගේ පුත් ගෝපිනාත් දැනටමත් ජම්මුවලට පැමිණ සිටි බැවින් ඔහුට ප‍්‍රදේශයේ නිවසක් කුලියට ගත හැකිවී තිබිණි. වාසනාවකට මෙන් ඊට යාබද ව කුඩා මඩුවක් වැනි කාමරයක් තිබු අතර බාල් කාක්ට එහි සෙවණ යටට වී සිටීමට හැකිවිය. දැන් නෝනෝ ඉතාම දුර්වල ලෙස දිග ඇදි සිටින්නේ ඒ කුඩා කාමරයේයි.

ගෝපිනාත් තම පුත‍්‍රයාත් සමග රජයෙන් අනාථයන් සඳහා සලාක කුපන් බෙදන යුද්ධාභ්‍යාස පිට්ටනිය වෙත ගොස් ඇත. ගෝපාල් ව පාසලකට ඇතුළු කිරීමට අවශ්‍ය කටයුතු කිරීමට ද සිදු ව ඇත. තමාගේ දෙමසක වැටුප ලබා ගැනීමට ගෝපිනාත් උත්සාහ දැරු නමුත් එය ලැබෙන බවට සලකුණකුදු නැත. කෙසේ වෙතත් ඔහුට කාර්යාලයට වාර්තා නොකර ශී‍්‍ර නගර් හැර දමා ඒමට සිදුවූයේ ඔහුගේ වරදක් නිසා නොවේ. අනිත් කරුණ ඒ ප‍්‍රදේශයේ කාර්යාල වසා දමා තිබිණි. වැටුපක් නොලබා ඔහු ජීවත්වන්නේ කෙසේ ද? ශී‍්‍ර නගර්වල සිට පැමිණි බොහෝ දෙනෙකුට මේ ගැටලුවට මුහුණ දීමට සිදුවිය. තමන්ගේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා එදින ඔව්හු පෙළපාලියක් ද පැවැත්වූහ. බාල් කාක්ටත් ඊට එක්වන ලෙස ගෝපිනාත් ඉල්ලා සිටි නමුත් නෝනෝ ව හැර දමා යාමට බාල් කාක්ට නොහැකි ය.

නෝනෝ දෙස පරීක්ෂාවෙන් බලා සිටි ඔහුට උගේ හුස්ම ගැනීම ක‍්‍රමයෙන් දුර්වල වන බව පෙනිණි.

හදිසියේ ම ඔහුට සිතුණේ කඩවීදියට ගොස් අයිස් ස්වල්පයක් ගෙනවිත් අයිස් වතුරෙන් නෝනෝ ව තෙමුවොත් ඌව බේරාගත හැකි බවයි. එම සිතිවිල්ලෙන් ඔහු නැගි සිටි නමුත් තම සාක්කුවේ එක පයිසයක්වත් නැති බව සිහිවී දුර්මුඛ විය. ඔහු රැගෙන ආ සියලු දේ ගෝපිනාත්ට බාර දී ඇත. ඔහු ඉතිරි කරගෙන සිටි කාසි කීපය ද අවසන් වී ඇත. ඔහුට තමාගේ විශ‍්‍රාම වැටුප ලැබේවි ද යන්න නිසැක ව ම කිව නොහැකි ය. නෝනෝට අයිස් ගෙන ඒම සඳහා පයිසා පනහක් ඉල්ලා ගැනීමට තම ලේලිය වූ රාමා වෙත යා යුතු ද? එහෙත් ඔහු එය කරන්නේ කෙසේ ද? නිවසේ කිසිවකු අයිස් රැගෙන එනු ඔහු කිසි දිනෙක දැක නැත. ඉදිරියේදී ඇති විය හැකි දුෂ්කරතා ගැන කාට කිව හැකි ද? තත්ත්වය වඩාත් නරක අතට හැරීමට ඉඩ ඇත.

යුද්ධයක් ආරම්භ වීමට ඉඩ ඇත. ත‍්‍රස්තවාදය වර්ධනය විය හැකි ය. කෘශ්මීරයේ සිටි සියලු ම වැදගතුන් එම ප‍්‍රදේශය අතහැර ජම්මුවලටත් තවත් සමහරුන් අම්රිත්සාර්වලටත් තවත් පිරිසක් දිල්ලියට හා බොම්බායට පලා ගොස් ඇත. කෙතරම් විශාල පිරිසක් ඒ ප‍්‍රදේශය හැර ගොස් තිබේ ද?

බාල් කාක් නැවතත් නෝනෝ දෙස බැලුවේ ය. දුර්වල ජීවිතයක්, උගේ නළලේ සිට නාසය දක්වා කඩා වැටුණ ලෝම දැන් සෙලවෙන්නේ ඉතා සෙමිනි. පැය කීපයකට පෙර ඒවා සාමාන්‍ය තත්ත්වයෙන් පැවතිණි.

බාල් කාක්ට දැඩි කම්පනයක් දැනිණි. ඒ මොහොතේ ම රාමා ද එතනට පැමිණියා ය. “දැන් මූට කොහොමද?”

“කියන්න බැහැ බේරගන්න පුළුවන්ද බැරිද කියල” බාල් කාක් වෙව්ලන හඩින් පිළිතුරු දුන්නේ ය.

“හරි රස්නෙයි” පැවසූ රාමා බල්ලා ව එසවීමට පහත් වූවා ය. එහෙත් ඌ පොදියක් මෙන් වැතිර සිටියේ ය. ඕ ශෝකයෙන් නැගී සිටියා ය. අනතුරු ව ආපසු හැරුණු ඕ තම මාමණ්ඩිය අත රුපියලක් තබමින් ලව්කී කිලෝවක් ගෙනවිත් දෙන ලෙස ඉල්ලා සිටියා ය. එසේ පවසමින් ම ඕ තම කාමරයට ගියා ය.

බාල් කාක් තමා අත වූ නෝට්ටුව දෙස බැලුවේ ය. අනතුරු ව ඔහු දුටුවේ මරණාසන්නව වැතිර සිටින නෝනෝයි. රුපියලක් වටිනා අයිස් ගෙනාවොත් බාගෙවිට නෝනෝව බේරාගත හැකිවෙයි. එහෙත් එය කළ හැක්කේ කෙසේ ද? ඔහු රුපියලක් වටිනා ලව්කී රැගෙන ආවොත් මුළු පවුල ට ම සෑහෙන්නට එළවළු සුප් සාදා ගත හැකිවෙයි. නෝනෝ ව බේර ගැනීම සඳහා රුපියලක් වටිනා අයිස් ගෙනාවොත් සෑම කෙනෙකු ම ඔහු ව මෝඩයකු ලෙස සලකනු ඇත.

සිතිවිලි අතර අතරමං වෙමින් හේ පිටතට ආවේ ය. පිටත උදුනක මෙන් හිරු රැස් ගිනියම් විය. සුළඟ කෙතරම් උණුසුම් ද යත් හිසරදය ඇති කළේ ය. එහෙත් කල්පනාවෙන් තොර ව ම මගට බැසි හේ කෙළින් ම කඩයක් වෙත ගමන් කළේ ය.

“මට රුපියලක ලව්කි දෙන්න” හේ එළවළු වෙළෙන්දාට පැවසුවේ ය.

එළවළු වෙළෙන්දා ලව්කීවලින් අඩක් කපා තරාදියට දැමීමට සූදානම් වත් ම බාල් කාක් තම සිතිවිලි වෙනස් කර ගත්තේ ය. “නැහැ නැහැ මට අවශ්‍ය නැහැ” යැයි පවසමින් හේ එතනින් පිටව ගියේ ය. කෝපයෙන් බැන වදින එළවළු වෙළෙන්දා දෙස ආපසු හැරී බැලීමටවත් හේ කරදර නොවී ය. “මොකද ඒ මිනිහට වෙලා තියෙන්නෙ? පණ්ඩිතයා”

පණ්ඩිත බාල් කාක් ගිනියම් හිරු රැස් සහ ගිනියම් සුළඟ ගැන නොතකා ම එළවළු වෙළෙඳ පළ දෙසට දිව ගියේ ය. එළවුළු වෙළෙඳ පළේ අනිවාර්යයෙන් ම අඩු මිලට එළවුළු මිලට ගත හැකි අතර එමඟින් ඔහුට සුළු මුදලක් ඉතිරි කර ගත හැකි ය. ඉන් අයිස් මිලට ගත හැකි අතර ඒ අයිස්වලින් නෝනෝ ව නෑවීමටත් ඌට සීතල වතුර දීමටත් හැකි වේ.

එහෙත් එළවුළු වෙළෙඳපළ පිහිටියේ බොහෝ දුරිනි. හේ දහදියෙන් තෙත බරිත විය. හුස්ම ගැනීම අපහසු විය. මෙවැනි උණුසුමකට හේ කවදාවත් මුහුණ දී නැත. ඔහු තම ජීවිත කාලය ම ගත කර ඇත්තේ ශී‍්‍ර නගර්වල සහ ලඩාක්වලයි. විශ‍්‍රාම ගැනීමෙන් පසු සාමයෙන් සහ සුවයෙන් කල් ගත කිරීමටත් මා ෂාර්කා වෙත ගොස් භාවනාවේ යෙදීමටත් හෙතෙම අපේක්ෂා කළේ ය.

ඔහු පවන් සලා ගනිමින් සහ සුසුම් හෙළමින් එළවුළු වෙළෙඳ පළට පැමිණියේ ය. ඔහු නිවැරැදි ය. ඔහුට පයිසා හැත්තෑවක පමණ ලව්කී මිලට ගත හැකි විය. කඩයේ වෙළෙන්දා නම් මේ සඳහා රුපියලක් ම ඉල්ලා සිටිනු ඇත. මෙමඟින් පයිසා තිහක් ම ඉතිරි කර ගැනීමට ඔහුට හැකිවිය. වෙළෙඳපළෙන් පිතට පැමිණි හෙතෙම බුලත් කඩයක් වෙත ගොස් එහි ඉදිරිපිට සිට ගත්තේ ය.

“බායි සහිබ්, මට අයිස් ටිකක් දෙන්න” හේ පැවසුවේ ය.

“මේ වෙලාවේ නම් මා ළඟ අයිස් නැහැ. ඒවා එන්නෙ ටිකක් පරක්කුවෙලා” කඩ හිමියා පැවසුවේ ය.

බාල් කාක්ගේ හදවත ගිලා බැස්සේ ය. මෙතරම් කරදර විත් ඔහුට අයිස් ලබාගත නොහැකි නම්? නෝනෝගේ මුහුණ ඔහුගේ ඇස් ඉදිරියේ රඟ දෙන්නට විය. හේ විගසින් ම වෙනත් කඩයක් වෙත ගියේ ය. එහිද අයිස් නැත. තෙවන කඩකරුවා විමසීමක් කළේ ය.

“කීයක් වටිනා අයිස් ද ඕනෙ?”

“පයිසා තිහක”

“මොකක්?”

ඔහුට කරකියාගත හැකි දෙයක් නොවී ය. අමාරුවෙන් වචන ගළපමින් හේ නැවතත් පරණ වාක්‍යකම උච්චාරණය කළේ ය. “පයිසා තිහක අයිස්.”

කඩ හිමියා ඔහුගේ කෝපය ප‍්‍රකාශ කළේය. “මේ උණුසුම් වෙලාවෙ ඔහෙ ආවෙ පයිසා තිහක අයිස් ගන්නද? ගිහින් වෙනත් කඩේකින් අහල බලන්න”

බාල් කාක් දුක්ඛිත ලෙස කන්නලව් කළේ ය. “බායි සහිබ් කරුණාකරල මට අයිස් ටිකක් දෙන්න. මට හරි ම හදිස්සියි. මම කකුල් දෙක අල්ලල වඳින්නම්” මෙසේ පවසමින් බාල් කාක් කඩ හිමියාගේ දෙපා ඉදිරියේ වැඳ වැටුණේ ය.”

තමා කටයුතු කරන්නේ පිස්සෙකු සමග යැයි කඩ හිමියාට සිතෙන්නට ඇත. ඔහු අයිස් පෙට්ටියට අත දමා ඉන් කුට්ටියක් ගෙන ඔහුගේ අත තැබුවේ ය. බාල් කාක් කඩ හිමියාගේ මුහුණ දෙස බැලුවේ ය. ඔහු ආපසු නිවසට යාමට පෙර ම මේ අයිස් ස්වල්පය දියවි යනු ඇත. එහෙත් කළ හැකි දෙයක් නැත. අයිස් කැබැල්ල තම කමිසය අස්සේ රුවාගෙන හේ දුවන්නට විය.

ඔහුගේ එක් අතක ලව්කී බෑගයකි. අනිත් අතින් කමිසය අල්ලාගෙන අයිස් තද කරගෙන සිටී. ඔහුගෙ හිසට ඉඳිකටු තුඩුවලින් අනින්නාක් මෙන් දැනිණි. ඔහුගේ මුහුණ සහ ඇස් රත් පැහැ ගැන්වී ඇත. ගිනියම් හිරු රැස් සහ ගිනියම් සුළඟ පිළිබඳ ව නොතකමින් හේ දිව ගියේ ය. හැකි ඉක්මනින් නිවසට යාමට ඔහුට අවශ්‍ය විය. අතරමගදී ම අයිස් දියවී යනු ඇතැයි හේ බය විය. එක් ස්ථානයකදී හෙතෙම වැටෙන්නට ගියේ ය. එහෙත් එයින් බේරුණු හෙතෙම ලව්කී බෑගය ද වැටෙන්නට නොදී කමිසයට හිර කරගෙන සිටින අයිස් කුට්ටිය ද තරයේ අල්ලා ගත්තේ ය.

නිවස අසළට ළංවන විට රාමා කුමක් කියාවිදැයි ඔහුට සැකයක් ඇතිවිය. ඔහුට අයිස් ලැබුණේ කොහෙන්දැයි ඇය නිසැක ව ම විමසනු ඇත. ඔහුගේ පිළිතුර විය යුත්තේ කුමක් ද? ලව්කී ගැනීමෙන් පසු ඉතිරි වන මුදල ඔහු ඇයට දිය යුතු ය. නොඑසේ නම් ඔහුට අසන්නට සිදුවන්නේ කුමක් ද?

ඔහු පටු මාවතට පිවිසෙන විට අයිස් කුට්ටියෙන් අඩක් දියවී තිබු අතර ඔහුගේ සිරුර මුළුමනින් ම තෙත් වී තිබිණි.

දොරටුව අසළට පැමිණි හේ නතර විය. අයිස් මෙන් ඔහුගේ හදවත ද දියවී යන්නට විය. ඔහුගේ ඇස් නිවස වෙත යොමුවූ අතර ඔහු ධෛර්යය උපදවා ගත්තේ ය. ඇඟිලි තුඩුවලින් ගමන් කොට හේ නිවසට ඇතුළු විය. ලව්කී බෑගය තම ලේළිය ඉදිරියේ තැබූ හෙතෙම හෙමින් සීරුවේ ම තමන් නැවතී සිටිනා කුඩා කාමරය වෙත යන්නට විය. රාමාගේ ඇස් ඔහුගේ තෙත කමිසය වෙත යොමු විය.

“මාමාගෙ කමිසෙට මොකද වුණේ?” ඕ විමසුවාය.

බාල් කාක් තිගැස්සුණ නමුත් මෘදු ලෙස කතා කළේ ය. “මුකුත් නැහැ.”

රාමාගේ බැල්ම තියුණු විය. “මාමා අයිස් ගෙනාවද?” ඕ විමසුවා ය.

“ඔව්”

“මම දුන්න සල්ලිවලින් ටිකක් ඉතිරිකර ගත්තා?”

“නැහැ නැහැ” බාල් කාක් මුළුමනින් ම අසරණ විය.

“ඇයි බොරු කියන්නෙ?”

“ඔය ළමය මොනවද මේ කියන්නෙ?”

“මාමා මාම ගැන ලැජ්ජාවෙන්න ඕනෙ”

“දුව ඔබ මාව වැරැදි විදියට තේරුම් අරගෙන”

“අද උදේ මාමා කිව්ව මාමා ළඟ පයිසයක්වත් නැහැ කියල. එහෙමනම් අයිස් ගන්න පයිසා කොයින්ද?”

එතනින් පලා යාමට හැකිනම් බාල් කාක් දිව යනු ඇත. එවැනි අපහාසයකට මීට පෙර ඔහු කවදාවත් මුහුණ දී නැත. ඔහුට සියල්ල අමතක විය. රාමා දිගට ම කියාගෙන ගියා ය.

“අපිට ජීවිතය ගැටගහගන්න බැහැ. ඔබේ පුතා අමාරුවෙන් වැඩ කරන්නෙ. සීතල වතුර බිඳක්වත් නැතිව පුංචි පුතාගේ උගුර කට වේලිලා. ලව්කී අරගෙන ඉතිරි වුණු සල්ලිවලින් ඔබ අයිස්...”

“නැහැ නැහැ දුව එහෙම නොවෙයි. මම එළවුළු වෙළෙඳපළට ගියා. මම නෝනෝට අයිස් මිලට ගත්තා”

“නෝනෝ?”

“ඔව් ඌව බේරගන්න අමාරුයි. ඒකයි”

රාමාට කිසිවක් කිව නොහැකි විය. ඇගේ කරුණාව ආයාචනා කරමින් ඔහුගේ ඇස් ශෝකයෙන් බර ව තිබිණ. රාමා නිහඬ වනු දුටු හේ හෙමිහිට එතැනින් ඉවත් විය. ඔහු ජෝග්ගුවක් රැගෙන ඊට වතුර පුරවා අයිස් කැටය ඊට දමා තමාගේ කුඩා කාමරය වෙත ගියේ ය. තමා ගෙන් ජීවිතය ඉවත් ව ගොස් ඇති බවත් තමාගේ හදවත කැබලි කැබලිවලට කැඩි විසිරි ඇති බවක් ඔහුට දැනිණ.

ඔහු තමාගේ කුඩා කාමරයට රිංගා ගත්තේ ය. නෝනෝ පෙර පරිදි ම වැතිර සිටියි. ඌ අසලින් වාඩිවූ හෙතෙම උගේ හිස සීතල වතුරෙන් තෙමන්නට විය.

ඒ මොහොතේ රාමා පිටතට පැමිණ කෑ ගැසුවා ය. “මොකද ඔය කරන්නෙ?”

බාල් කාක් මවිතයෙන් හිස ඔසවා බැලුවේ ය.

“ඌ මැරිලා” රාමා පැවසුවා ය.

රාමා කුමක් කීවා දැයි බාල් කාක්ට එකවර ම නොවැටහිණි. හේ නෝනෝ දෙස ඇස් යොමු කළේ ය. උගේ නාසය වසා ලෝම පැතිර ඇත. එහෙත් ඒවා යාන්තමින්වත් සෙලවෙන්නේ නැත. උගේ බඩ උස් පහත් වන්නේ ද නැත.

එක්වර ම බාල් කාක් වැලපෙන්නට පටන් ගත්තේ ය. හේ හඬ නගා වැලපුණේ ය. වැලපෙමින් ම හේ නෝනෝ ගේ සිරුර මත සීතල වතුර ජෝග්ගුව ම වත් කළේ ය.

දිගටම වැලපෙමින් හේ මෙලෙස ද පැවසුවේ ය. “මම දුර ගෙවාගෙන එළවුළු වෙළෙඳ පළට ගිහින් සත තිහක් ඉතිරි කරගෙන අයිස් ටිකක් ගත්තා. මම මා වෙනුවෙන් කිසිම දෙයක් ගත්තෙ නැහැ. මම නාස්ති කළේ නැහැ දුව. මට දොස් කියන්න එපා. මාත් එක්ක හරහට ඉන්න එපා” රාමා පිළිමයක් මෙන් ගල්ගැසී බලා සිටියා ය.

https://archives.silumina.lk/punkalasa/20090322/_art.asp?fn=ar0903222

Nissanka Rajapaksa

unread,
Apr 18, 2024, 8:49:33 PMApr 18
to INDRAKA group
17
වැස්ස නිමාවිය

නිමල් උඩගෙදර

ටහිර දිශාවෙන් හැමූ සුළඟ විසින් තල්ලු කරගෙන එනු ලැබූ කළු වලාකුළු පෙළ හෙමින් හෙමින් පැමිණ රිටිගල කඳු සිරස මත ඈඳි ගත්තේ ය.

අරවින්ද ජනෙල් කවුළුව අතරින් ඒ දෙස බලා සිටින්නට වූයේ තම සිතෙහි හෙමි හෙමින් ඉස්මතු ව එන ‘ගැස්ම’ යටපත් කරගැනීමට යත්න දරමින් ම ය.

ඒ අතරතුර ඔහුට දුරකථනය ඔස්සේ ගලා ආ ගංගාගේ හඬ නැවත නැවත සිහිපත් වන්නට විය.

“ආ... අරවින්ද අය්යේ... මාලතී අක්කා ගෙදර නෑ නේද...?” ඇය ඇසුවා ය.

“නෑ නංගියේ... එයාට තාම සනීප නෑ... ටිකට් කපන්න තව දවසක් දෙකක් යයි...”

“මං අද ඔයාව හම්බවෙන්ඩ එන්නද අය්යේ...” අරවින්දගේ සිත ඒ වදනින් මඳක් සැලී ගියේ ය. ඒ සමඟ ම ඔහුගේ සිතේ නැවුම් හැඟීමක් ද දලුලා වැඩෙන්නට විය.

“ඇ... ඇයි නංගියේ, හදිස්සියක්වද්ද?”

අරවින්ද එසේ ඇසුවද ඒ ප‍්‍රශ්නය ඉතා අනුචිත එකක් වග එසැණින් ම ඔහුට වැටහිණි.

“ආ මම එන්නම්කෝ... හවස හතරට විතර... ඔයා ඉන්නවනේ... මං තනියම එන්නෙ...”

ඇය නැළවෙමින් කීවා ය. අරවින්ද නොසන්සුන් සතුටකින් නිවසෙහි ඒ මේ අතර සැරිසරන්නට විය. තම බිරිය රෝහල්ගත වීම නිසා දින දෙක තුනක් තනිව ම නිවසෙහි විසූ අරවින්දට මහත් කාන්සියක් දැනෙමින් තිබිණි.

එහෙත් ගංගාගේ දුරකථන ඇමතුම මඟින් ඔහුගේ සිතුවිලි ධාරාව අලුත් සොඳුරු මල් මාවතකට යොමුකොට තිබිණි. අරවින්ද ජනෙල් කවුළුවෙන් පිටත බලාගෙන ම ගංගාගේ රූපකාය සිත් කඩතිරෙහි චිත‍්‍රණය කරන්නට විය.

ගංගා, මාලතීගේ දුර ඥාතිවරියක වූවා ය. විවාහයෙන් දෙවසරක් ගත වෙන්නටත් පෙර ගංගාගේ සැමියා හදිසි අනතුරකින් මිය ගිය අතර තම සිඟිති දරුවා ද සමග ඇය තනි වූවා ය.

ඇය කෙරෙහි අරවින්ද තුළ උපන්නේ මහත් අනුකම්පාවකි. ඔහු මාලතී ද සමඟ බොහෝ අවස්ථාවල ඇය බැලීමට ගියේ ය. දිනක් අරවින්දගේ සේවා ස්ථානයට හදිසියේ ම ගංගා පැමිණියා ය.

“අය්යේ මං මේ ආවේ ලොකු උපකාරයක් පතාගෙන...”

ඇය අසරණ ලෙස පැවසුවා ය.

“මට අය්යේ උපකාරයක් ඉල්ලා ගන්න කිසිම කෙනෙක් නෑ... අම්මා ඉන්නෙත් අසනීප ගානෙ... මං හිතාගෙන ඉන්නෙ අපේ අර පරණ කඩ කාමරේ පුංචිවට කඩයක් දාගන්ඩ...”

පාර අද්දර පිහිටි ඒ කඩකාමරය වහා අරවින්දගේ විමසුම් මනසට නැඟිණි.

එහි සිල්ලර කඩයක් දැමුවහොත් එය සරුවනු ඇතැයි ඔහුට සිතිණි.

“ඒකනම් හොඳ අදහසක් නංගියේ...” අරවින්ද සතුට පළ කෙළේ ය.

“මට අය්යේ සල්ලි ටිකක් මදි... මට රුපියල් පනස්දාහක් ණයට හොයලා දෙන්ඩ...”

එදින නිවසට පැමිණි අරවින්ද ගංගාගේ ඉල්ලීම පිළිබඳව දස දහස් වර සිතා බැලී ය. මාලතී එයට කොහෙත් ම එකඟ නොවෙනු ඇත. ඔහුට ගංගාගේ ඉල්ලීම ඉවත දැමිය නොහැක්කේ ද ඇය කෙරෙහි උපන් මහත් අනුකම්පාව නිසා ය.

අවසානයේදී අරවින්ද ගංගාට උපකාර කිරීම සඳහා රුපියල් පනස්දහසක බැංකු ණයක් ලබාගත්තේ මාලතීට හොර රහසේ ය.

“නංගියේ, මේක පුළුවන් වෙලාවක මට ආපහු දෙන්ඩ... මේ වගක් මාලතීට හෙම කියන්නෙපා...”

දැන් වේලාව සවස තුන හමාරට ආසන්න වෙමින් පවතින බව අරවින්දට පෙනිණි. තව පැය බාගයකින් පමණ ගංගා තම නිවසට සේන්දුවනු ඇතැයි අරවින්ද සිතී ය. සීතල සුළං දහරක් හමා එමින් තිබිණි.

ඒ සුළඟ විසින් ගස්වල ඇඳුම් එක දෙක ගලව ගලවා බිම දමනු ලැබී ය. ලෙහෙනියක පසු පස ලෙහෙනෙකු ආවේගශීලි ලෙස ලුබුබඳින අන්දම අරවින්දගේ නෙත ගැටිණි. දැන් මුළු අහස් කුස ම වැහි වලාවෙන් පිරී ඉතිරී යමින් පවතී.

ගංගාගේ කඩය විවෘත වූ අතර නිතර නිතර එයට ගොඩවැදීම අරවින්දගේ සිරිතක් විය. දිනෙන් දින ක‍්‍රම ක‍්‍රමයෙන් දියුණුවන ඒ ව්‍යාපාරය දකිමින් අරවින්ද සැබවින් ම පී‍්‍රතියට පත්විය. ගංගා ද කිසිවෙකුට නොදක්වන අන්දමේ ළෙන්ගතු බවකින් අරවින්දට සැලකුවා ය. ඇගේ සෙනෙහස පිරුණ දෙනුවන දැක බලා ගැනීම ඔහුට මහත් සතුටක් ගෙන දෙන්නක් සේ දැනිණි. ගංගා ඉඳහිට අරවින්දලාගේ නිවසට පැමිණි අතර, ඒ පැමිණීම විසින් ඔහුව මහත් ප‍්‍රබෝධයට පත්කරවනු ලැබී ය.

එහෙත් අද ඇගේ පැමිණීම ඔහුට මහත් සතුටක් මෙන් ම කැලඹිමක් ද ඇතිකොට හමාර ය.

“අය්යේ... අද අක්කා නෑනෙ... එහෙනම් මම එන්නම්... ආ මම එන්නම්කො ඉතිං...”

ඇගේ ඒ වදන්වල තිබූ රිද්මය අරවින්ද පිරික්සා බැලී ය. ඔහු ඒ වදන් පෙළෙහි සළුපිළි ඉරා දමමින් එහි යටි අරුත් සොයමින් උන්නේ ය. අහස පුරා මහත් වූ විදුලියක් ඇදී ගියේ ය. හමන පවනින් ළං ළං ව පිහිටි ගස්වැල් කදිම රැඟුමක් අරඹා තිබිණි.

ඈත දෙවට දිගේ ලැසි ගමනින් පියමං කරන ගංගාගේ රූපකාය අරවින්දගේ දෙනුවන විසින් වහා තුරුලු කරගනු ලැබී ය. ඈතින් අහස ගොරවන හඬ ඇසිණි. වැහි බිඳු ‘සට’ ‘සට’ ගා පොළොව මත පතිත වන්නට විය. අරවින්ද වහා ගොස් ඉදිරිපස දොර විවර කළේය.

“ඔයා තෙමුණ ද...”

බාගෙට තෙමී ඉස්මතු ව පෙනෙන ඇගේ නාරි දේහය දෙස බලමින් අරවින්ද සැලෙන හ¾ඩින් ඇසී ය.

“ඔව් අය්යේ... මට තුවායක් දෙන්ඩ...” එසේ කියමින් ම ගෙට ගොඩ වැදුණ ඇය රෙදි රාක්කය අසලට ගොස් තුවායක් සොයන්නට වූවා ය. අනතුරු ව ඇය අරවින්දගේ තුවාය රැගෙන මුහුණ පිසදමන්නට වූවා ය.

“ඕක ගන්ඩ එපා... දවස් දෙක තුනකින් හේදුවේ නෑ... ගඳ ඇති. ඉන්ඩ මං ඔයාට හොඳ එකක් දෙන්නම්...”

“එපා එපා අය්යේ, මේක ගඳ නෑ... සුව-ඳයි...” ගංගා සිනාසෙමින් කීවා ය.

අඳුරු පරිසරය පුරා ක්ෂණික ආලෝක ධාරාවක් විහිදුවමින් විදුලි රේඛාවක් ඇදී ගියේ ය. අරවින්ද එයින් තැති ගත්තේ ය. එහෙත් ගංගා කිසිදු තැති ගැන්මකින් තොරව කාමරයෙන් කාමරයට යමින් පිරික්සා බලන්නට වූවා ය.

“අක්කා නැති හින්දා මුළු ගේම අවුල් වෙලා...” එසේ පවසමින් ඇය මුළු නිවස ම අස්පස් කරන්නට වූවා ය. ගංගා නිවසේ ඔබ මොබ සරද්දී අරවින්ද ගේ දෙනයනත් දෙනාසයත් ඇගේ රුව සුවඳ උරා බොන්නට වූවේ ය.

දැන් ඇය සිටින්නේ නිදන කාමරයේ ය. අරවින්දට වහා මාලතීව සිහි විය. මෙවන් මොහොතක ඇය සිටියානම් තමා සෙමින් සෙමින් ඇය පිටුපසින් ගොස් ඇය ව සිප වැළඳ ගන්නා අන්දම ඔහුට මැවී පෙනෙන්නට විය.

අරවින්දගේ නෙත ජනෙල් කවුළුවෙන් එපිටට යොමුවිය. ළං ළංව පිහිටි ගස්වැල් මහත් වූ සුළඟින් එහාට මෙහාට ඇඹරෙන්නේ කාමතුර ව ඔවුනොවුන් වැලැඳ ගැනීමට සිය දහස් අත් ඔසවන්නාක් මෙන් අතු ඉති ප‍්‍රලය කරවමිනි.

අරවින්ද සෙමින් සෙමින් ගංගා සිටින නිදන කාමරය වෙත ඇදුණේ ය. ඇය මුළු කාමරය ම අස්පස්කොට තිබුණ නිසා නැවුම් සිරියක් ඊට එක් ව තිබිණ. නිදන කාමරයේ ජනේලයෙන් එපිට බලමින් උන් ගංගා අරවින්දගේ අඩි ශබ්දය මත වහා හැරී බැලුවා ය.

පියවර කිහිපයක් පෙරට ආ ගංගා අරවින්ද ඉදිරියේ සිටගෙන මන්දස්මිතයෙන් වත සරසාගෙන ලීලෝපේතව හිස මඳක් ඇල කර ගත්තා ය. විදුලි ධාරාවකින් මුළු පරිසරය ම රක්තවර්ණව ගිය අතර අකුණු හඩින් වාතලය කැලැඹි ගියේ ය.

ගංගාගේ වත, දෙනෙත, දෙතොල මත අරවින්දගේ නෙත වහ වහා සරන්නට වූයේ පුෂ්පයෙන් පුෂ්පයට මාරුවන මී මැසි යුවළක් ලෙසට ය. අරවින්ද ඇය වෙත පියවරක් එසවීමට සැරසුණා පමණි.

“අරවින්ද අය්යේ මං ඔයාට කොහොම ස්තූති කරන්ඩද කියලා මට හිතාගන්ඩ බෑ...” ගංගා කටහඬ අවදි කළා ය. “ඔයා මටයි මගෙ අහිංසක දරුවටයි පිහිට වුණා... අක්කා නැති වෙලාවෙ මං ආවේ ඔයාගේ සල්ලි ටික දීලා යන්ඩ...” ගංගා කියාගෙන කියාගෙන ගියාය.

ඇගේ නෙත කඳුළක සීරාවකින් තෙත් ව එනු අරවින්දගේ නෙත ගැටිණි. මුළු අහස් තලය ම කලැඹවමින් පැවති ධාරාණිපාත වර්ෂාව ක‍්‍රම ක‍්‍රමයෙන් තුරල් වී යන අයුරු අරවින්දට දැනිණි.

“මගේ මැරුණ මහත්තයයි, අහිංසක දරුවයි වෙනුවෙන් මං ඔයාට ජාති ජාතිත් ණය ගැතියි අය්යේ...”

ගංගා අරවින්දගේ සුරත මත මුදල් මිටිය තබා ඔහුගේ දෙපා ළඟ වැඳ වැටුණා ය. වැස්සට තෙතබරිත වූ පක්ෂියෙක් ‘සට’ ‘සට’ ගා පියාපත් ගසා දමන හඬ අරවින්දට ඇසිණ.

“ඔයා මගේ ම සහෝදරයෙක් අය්යේ...”

අරවින්දගේ සිත ‘අමුතු ම’ හැඟුමකින් නෑවෙමින් තිබිණ. ඔහු ඇගේ දෙවුරින් අල්ලා නැගිට්ටුවේ ය.

“ඕක මොකක්ද නංගියේ... ඕනෑම උදව්වක් ඉල්ලන්න... මං ඔයාට උදව් කරන්නම්...” අරවින්දගේ හඬෙහි සහෝදරාත්මක බව පිරී තිබිණි. ඔවුහු නිවසින් එළියට බටහ. නැඟෙනහිර අහසෙහි ඉතා දීප්තිමත් දේදුන්නක් පායා තිබුණු අතර ඒ හරහා පියාඹමින් සිටි සුදු කොකුන් ජෝඩුවකගේ පියාපත් මත දේදුනු පැහැය තැවරෙමින් තිබිණ.

https://archives.silumina.lk/punkalasa/20090301/_art.asp?fn=ar0903012

Nissanka Rajapaksa

unread,
Apr 19, 2024, 8:27:34 PMApr 19
to INDRAKA group
18
 පිළිසිඳ ගැනීම

- නිමල් උඩගෙදර

කොළඹ නගරය අතිශය වේගයෙන් භ්‍රමණය වෙමින් පවතියි. හිටිවනම වැසි ඇද වැටෙයි. කාණු දිගේ එහාට මෙහාට දුර්ගන්ධය ගලා බසියි. පොළොවෙහි දුර්ගන්ධිත මඩ තලි රිය සක පෙරහැර සමඟ එකතුව ක්‍රීඩාවෙහි යෙදෙයි. මෙවන් රම්‍ය පුරවරයෙහි මොහොතකුදු නොරැදෙනු රිසි මම වහ වහා පදික වේදිකාව දිගේ වේගවත් වූයේ ගමට යන බසයක් අල්ලාගනු වස් ය. කොතරම් හදිසියේ වුව පදික වේදිකාවේ ගොඩකර තිබූ විස්සේ කෑලි ගොඩක තිබූ මී කතුර මා නෙතෙහි ඇඳී ගියේ ය.
එය දුටු සැණින් මා පයෙහි තිරිංග තද වී ගියේ ය. පිටුපසින් ආවෙක් මා ගතෙහි හැපී ඉවතට විසි වී ගියේ ය. කෙදිනකවත් මී කතුරක් මිළදී ගැනීමට සැලසුම් නොකළ මම අවසානයේ කිසිදු හෙට්ටු කිරීමකින් තොරව, මී කතුරක හිමිකරුවෙකු වූවෙමි.
බසයෙහි නිස්කලංක අසුනක් අරා හරි බරි ගැසුන මා හට නැවත මී කතුර පිළිබඳ සිතා බලන්නට අවකාශඋදාවි ය. සැබවින් ම මී කතුර දුටු සැණෙන් අමරා පස්වනක් ප්‍රීතියෙන් ඉල්පෙනු නොඅනුමාන ය. අමරා වූ කලී බෙහෙවින්ම මීයන්ව පිළිකෙව් කළ, උන් කෙරෙහි ඉමහත් බියක් දැක්වූ මාගේ ප්‍රියම්බිකාව වූවා ය. අප නිවසෙහි ඕනෑම මොහොතක වහලය දිගේ, තම සුදු පාට තඩි කොට්ට බඩ ප්‍රදර්ශනය කරමින් දිවයන මීයෙකු දැක බලා ගැනීමේ අවස්ථාව උදා වී ඇත. රාත්‍රිය පුරාවට ම ද ‘ක්‍රීස් - ක්‍රීස්’ හඬින් උන් නගන හඬ නිහඬ පරිසරය පුරා පැතිර යයි. උන්ගේ හඬට නම් මා කොහෙත් ම කැමති නැති වග සැබවි. එහෙත් මැදහත්ව සිතන කල්හි මා හට පෙනී යන්නේ මීයා ද ඉතා සුන්දර සතෙකු බව ය. මීයාත් ලේනාත් දෙස ඉතා හොඳ අවධානයෙන් බලන කල උන් දෙදෙනාගේම එක සමාන ස්වරූප මා හට දිස් වේ. මීයාගේ වල්ගයෙහි ද ලේනාගේ මෙන් ලෝම පිරී තිබුණේ නම් ඌ ද සුරතලයට ඇති කිරීමට තරම් සුන්දර සතෙකු වන බව නොඅනුමාන ය. මී ගැටළුව පාදක කරගත් කතිකාවතක යෙදෙන්නට දිනකට වරක් හෝ අමරා මා දෙස බැලූ අතර සතියකට වරක් දෙවරක් හෝ ඒ සම්බන්ධයෙන් මාගේ නිහඬ ප්‍රතිපත්තිය ඇගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වි ය.
දිනක් පරණ පොත් පෙට්ටියක් අවුස්සමින් සිටි අමරා යටිගිරියෙන් හඬ තලන්නට වූවා ය. වහා එතනට දිව ගිය මා හට දක්නට ලැබුණේ පොත් ගොන්න අතර සිටි මීයෙකු ඇඟට පැනීම නිසා බියෙන් ත්‍රස්තව වෙවුලන අමරා ය. මී අර්බුදය සමථයකට පත් කරනු වස්, අමරා බොහෝ කලක සිට යෝජනා කරමින් සිටි, එපමණ කාලයක්ම මා අතපසු කරමින් සිටි ක්‍රියා සැලැස්මක් මම එදිනම දියත් කළෙමි. අමරා මීයන්ට අකමැති තරමට මා ද බළලුන්ට අකමැති වුව ද එදින ගම පුරා ඇවිද බළල් පැටවෙකු නිවසට ‘වඩම්මාගෙන’ ආවෙමි. එහෙත් ඌ ගෙයි අහුමුළු අපවිත්‍ර කළා මිසක මීයෙකු දෙස නිකමට හෝ ඇස ඇර බැලුවේ නැත. අමරාගේ ඊළඟ යෝජනාව වූයේ මී කතුරය. එහෙත් මම මෙදින අහම්බෙන් මී කතුර මිලදී ගන්නා තුරු ම ඇගේ යෝජනාවට කිසිදු සැලකිල්ලක් දක්වා නොතිබිණ.
මා එදින සන්ධ්‍යාභාගයෙහි විඩාවද කරපින්නාගෙන නිවසට සේන්දු වූයේ මී කතුර රැගෙන ආ සුබාරංචිය අමරාට දන්වා ‘ලකණු’ දමාගන්නා අටියෙනි.
එහෙත් අමරා නිවසෙහි නැත. ඇය බෝධි පූජාවට යන්නට ඇත. “චඃ! මී කතුරු ගන්ඩ නොඉඳ වේල පහ ආවනම් මටත් යන්ඩ තිබුණා.” මගේ වදන් ඇසීමට නිවසෙහි වෙනත් කිසිවෙකු නොසිටියද, එසේ සිටින්නා සේ සිතාගෙන හඬනඟා කීමි. මගේ කටහඬ ඇසුන නිසාදෝ වහලය දිගේ දුවමින් සිටි ‘මිතුරෙක්’ මදක් නැවතී වට පිට බලා නැවතත් දුවන්නට වූවේ ය. මේ දිනවල අහල පහළ කිහිප දෙනෙකු ම එකතු කරගෙන, අමරා සතියක් පුරා පැවැත්වෙන බෝධි පූජාවකට සහභාගි වෙමින් සිටින්නී ය. අප විවාපත්ව වසර තුනකි. දරුඵල අපේක්ෂාවෙන් ගෙවූ කාලය වසරකි. ඇගේත් මගේත් දැන් ලොකු ම අපේක්ෂාව දරුවෙක් ය. බිළිඳු සුරතල් සිනා නිවසෙහි උතුරා යනු දැක්ම අපට සොඳුරු සිහිනයකි. අප කලබල නොවිය යුතු බවත් තරමක ප්‍රමාදයෙන් හෝ ඇයට මවක වීමේ වාසනාව ඇති බවත් වෛද්‍යවරු පැවසුව ද අමරාට හෝ මට එම කියමන් ප්‍රමාණවත් නොවී ය. වැඩිහිටි දැනමුතු කම් ද හරසරින් පිළිගෙන විවිධ වත් පිළිවෙත් වල යෙදුනෙමු. බෝධි පූජාව ද එවැන්නකි. අමරා පැමිණීමට තවත් බොහෝ වේලා ගතවේදැයි මම පාලුවෙන් මිරිකෙමින් සිතුවෙමි. නිවසට ආ ඇඳුම පිටින්ම තාමත් විඩා නිවමින් සිටි මා හට මී කතුරෙහි ක්‍රියාකාරිත්වය පිරික්ෂා බැලීමේ ‘දොළක්’ හදිසියේම උපණ. එහි දැති අතිශය තියුණුය. මම ඉතා සුපරික්ෂාවෙන් මී කතුර අටවා මේසය මත තැබීමි.
පිලිස්සූ පොල් කැබැල්ලක් මී කතුරෙහි අමුණා ඇති අන්දම මා මනසෙහි ඇඳී යයි. එහි සුවඳ හාත්පස පැතිර යයි. එහෙන් මෙහෙන් මතු වූ මීයෝ නාස්පුඩු කරකවමින් සුවඳ ඔස්සේ පැමිණෙති. මුලින්ම පොල් කැබැල්ල අසලට ආ මීයා සොම්නස්ව එදෙස බලයි. ඌට ඉතා විශාලව පොල් කැබැල්ල පෙනී, මී කතුර නොපෙනෙන්නා සේ ය. ඌ ගිජු ලෙස සෙමින් සෙමින් හොස්ස පොවයි. මම මී උගුල ක්‍රියාත්මක කොට බැලීමි.
- “ ටකාස් ”-
මී කතුර ගැස්සී උඩ පැන යළි මේසය මත පතිත විය. එම ගැටීම කොතරම් වේගවත්ද? ඇඟිල්ලක් අසුවුවහොත් දෙකට කැඩී යන තරම් ය. උඩින් තිබූ යකඩ පට්ටම හා යට කියත් පටිය වැනි කොටස පෙට්ටගමක පියනක් සේ එකට තද වී ඇත. මීයා උගුලට අසුවී මරු විකලෙන් අවසන් සටනෙහි යෙදෙන අන්දම මසිත් තිරයෙහි ඇඳී යයි. ඒ සමඟ ම මගේ ඇඟිල්ලක් මී කතුරට අසුව දෙකට කැඩෙන අන්දම ක්ෂණිකව සිතෙහි නැඟී මුළු ගතම කිලිපොලා යයි. මළ මීයාගේ අසරණ නෙත මසිතෙහි ඇඳී මැකී ගියේ ය.
අමරාට නොපෙනෙන පරිදි මී කතුර සඟවා තැබිය යුතු යැයි සිතමින් ඇඟපත සෝදා ගැනීමට මා පිටුපස දොරින් එලියට බසිත් ම බෝධි පූජාව හමාර කොට පැමිණි අමරා ඉදිරි පස දොරින් ගෙට ඇතුළු වූවා ය.

”ආනේ. . ඔයා මී කතුරක් ගෙනාවද? ඇති යන්තම් මතක් වුණා ...”
මා ප්‍රමාද වැඩිය. අමරා ප්‍රීතියද පළකොට හමාරය. එදින රාත්‍රියේ පොල් කැබැල්ලක් පුලුස්සාගෙන විත් අමරා මා අත තැබුවා ය.
“මොකට ද මේ ...” ?
“ඇයි අනේ, මී උගුල අටවන්න”
“ආ... ඕක අදම ඕනැ යෑ.... දැන් ඉතිං මී කතුර ගෙනත්නෙ තියෙන්නේ... හෙට දිහාට බැරියැ...”
එහෙත් මී උවදුරෙන් බේරීමට පුල පුලා බලා සිටින ඇය තවදුරටත් පරක්කු වීමට මනාප නැත.
එදින සිට මී උගුල මාරාන්තික ලෙස ක්‍රියාත්මක විය. රාත්‍රියෙහි උගුල ඇටවීමේ සහ උදෑසන මී සිරුරු ඇද දැමීමේ අවාසානාවන්ත ක්‍රියාවට උරදීමට සිදු වූ නිසා මම මහත් කනස්සල්ලට පත්වීමි.
එදින ඉරිදාවක් විය. එබැවින් රාජකාරි කටයුතුවලින් විනිර්මුක්තව දිනය පුරාම අලස සුවය බුක්ති විඳීමට මම සැරසුණෙමි. එදින මී ප්‍රශ්නයේ තවත් නව මං පෙතක් විවර කර ගැනීමට අමරා සමත් වූවාය. මුළුතැන් ගෙය දෙසින් ඇසුණ අමරාගේ කෑ ගැසීම නිසා මම එදෙසට දිව ගියෙමි. ඇය බිම වාඩි වී යමක් නරඹමින් සිටියා ය.
“ඇයි මොකද ... මොකද ...”
“මේ බලන්ඩකො අනේ.. මී පැටියෙක් බිම වැටිලා...”
මී පැටව් දකිද්දී ඇය වෙනදානම් මහත් සේ පිළිකුල පල කළාය. එහෙත් අද ඇය මී පැටවා අසලටම වී බලා සිටීම මට මහත් පුදුමයක් විය.
“කෝ පැත්තකට වෙන්ඩකෝ... මම ඌව අයින් කරලා දාන්ඩ ...”
“අනේ පව්... බලන්ඩකෝ ඌ දිහා”
මම මී පැටියා දෙස නොබලා අමරාගේ මුහුණ දෙස බැලීමි. ඇගේ දෙනෙතෙහි දයාව කරුණාව උතුරා යමින් තිබෙනු මා නෙතෙහි ගැටිණ. මම මී පැටියා දෙස බැලීමි. රෝස පැහැති මී පැටියා හෙමිහිට වකුටු වෙමින් දිගහැරෙමින් දඟලමින් උන්නේය. එක්වරම උගේ පෙනුම මසිතට ගෙන ආවේ මිනිස් කළලයක රූ සටහනකි.
“දැන් අපි මූට මොකද කරන්නේ ? ”
“මොනා කරන්ඩද ? අපි මූව විසි කරලා දාමු...”
අමරාගේ ප්‍රතිචාරය දැනගනු රිසියෙන් මම කීමි
“පිස්සුද අනේ... මේත් දරු පැටියෙක් නේද?” අමරා නෝක්කාඩු ස්වරයෙන් කීවා ය.
“ඔයාට පුලුවන්ද මේ පැටියව අර බිත්තිය උඩින් තියන්ඩ ... සමහරවිට උගේ අම්ම ඌව අරන් යාවි ...”
අමරාට පහළ වූ සත්ත්ව කරුණාව නිසා මට බිත්ති දිගේ බඩගෑමේ අකර තැබ්බයට මුහුණපෑමට සිදුවිය. එදින අමරා වරින් වර බිම සිට උඩතැබූ මී පැටියාව නිරීක්ෂණය කළා ය.
“අනේ ඌ දඟලනවා ... බිමට වැටෙයි ද ?”
“බලන්ඩකෝ ඌ තාමත් එතනමයි.”
එදින සවස මී පැටියා බිමට වැටී සිටි අතර උගේ සිරුර වසාගෙන කූඹි රෑනක් නලියමින් සිටියහ. එම දසුනෙන් අමරා මහත් දුකට පත්ව සිටියා ය. ඉන් පසු මී උගුල ඇටවීමට ඇය සිහිකැඳවීම් නොකළ අතර, මවිසින් එම කාර්යය සුපුරුදු පරිදි කරගෙන යනු ලැබිණ. ඊළඟ සතියේ තවත් මී පැටියෙක් බිමට වැටී දඟලමින් සිටියේ ය.
“මේ මී පැටව් බිමට වැටෙන්නෙ ඇයි අනේ ...” අමරා දුකින් ඇසුවා ය.
“සමහර විට උගේ අම්මා මී කතුරට අහුවුණාද දන්නෙත් නෑ ...”
මම ගණනකට නොගෙන කීමි. මගේ ප්‍රකාශයෙන් ඇය මහත් කැළඹීමකට පත් වූ අයුරක් දිස්විය. ඇය මී පැටියා රෙදි කැබැල්ලක තැබුවා ය. ඉන්පසු පාන්තිරයකින් පොල්කිරිද පිටිකිරිද පෙවීමට නිරර්ථක උත්සාහයක යෙදුණාය. එහෙත් ඇගේ පමාවක් බලා මී පැටියාව ඩැහැගෙන යාමට අපේ ‘නිවට බළලා’ සමත් විය.
“ඔයා කොහෙද ඔය මී කතුර අරන් යන්නේ ...?”
“මේ මී කතුර වීසි කරන්ඩ .....”
“එතකොට මීයෝ ...?”
“උන් ඔහේ හිටපුවාවේ ... තවත් අම්මලා මේකට අහුවුනොත් ...”
නිවස පිටුපස වන ලැහැබට මී කතුර පියඹා ගියේ ය. ආපසු එන ඇයගේ මුහුණ අස්වැසිල්ලෙන් ඔප වැටී තිබිණ.
ගොම්මන් අඳුරත් සමඟම සුපුරුදු ලෙස මසිතට ගාටන පාලුබව යළි මවෙත එමින් තිබිණ. අමරා අපූර්ව සිනාවකින් වත සරසා මා ගත දැවටෙන්නට වූවාය. මම ඇගේ වත දෙස බැලීමි. එහි වෙනදා නැති නිවුණ තැන්පත් බවක් සනිටුහන්ව තිබිණ.
“මට ඔයාට කාරණයක් කියන්ඩ තියෙනවා ...”
“මොකක්ද? ”
කිසිත් නොදෙඩූ අමරා මගේ සුරත ගෙන ඇගේ උදරය මත ඉතා මුදු ලෙස තබා තද කර ගත්තාය. ඇගේ වතට පසුබිම්ව ඇති ජනෙල් කවුළුවකින් පුන්සඳ අහසෙහි පායා එනු මා නෙත ගැටිණ.

Nissanka Rajapaksa

unread,
Apr 20, 2024, 7:45:31 PMApr 20
to INDRAKA group
19
බලාපොරොත්තුව

- පියසීලි විජේනායක

විමලසේන උදේ රැයින් ම අවදි වී ජැන්ඩියට ඇඳ පැලැඳගෙන කැඩපත ඉදිරියේ ගීතයක් උරුවම් බාමින් කෙස් කළඹ සකස් කළේ ය. ඔහු එය අතින් සකස් කළේ, වරක් දෙවරක් නොවේ. විමලසේන කැඩපතට පිටුපා යන්නට ගොස් යළිත් ආපසු හැරී කමිසය සකස් කළේය.

“අද උදෙන් ම නැගිටල කුකුළත් අතින් අරන් මේ කොහේ යන්නද? සුනීතා වහා අවදි වී නිදි ගැට හරිමින් ඔහු දෙස බලා සිටියා ය.

“කිව්ව නං වේලාසනින් තේකක් හදල දෙනව"

“අප්පා පුස්ඹ”

ඔහුගේ ඉහින් කනින් සෙන්ට් පුස්ඹ දැනෙයි. කමිසය ද නූලක් වත් පොඩි වී නැත. සපත්තු ඊට දෙවැනි නැත. ඒවායින් මූණ බලන්නට හැකි තරමට දිලිසෙයි.

“අද නිවාඩු තමයි. ඒත් අපි කට්ටිය ගමනක් යනවනේ”

“කොහෙද මේ පීරිස් එක්ක බැහැනෙ යං කියල කරදරේ. නැත්තං මේ නිවාඩු දවසෙ විවේකයක් ගන්ඩ තිබුණ”

එසේ කියූ විමලසේන චº ගා ගෙන විසිත්ත කාමරයේ අසුන් ගත්තේ ය. සුනීතා දුම් දමන කෝපි කෝප්පයක් ගෙනාවාය. උණු කෝපි කෝප්පයෙන් සුවඳ වහනය වෙයි.

“කොහෙද ඉතින් ඔය... යන ගමන?”

“ආ!”

විමලසේන යමක් මතකයට නංවා ගන්නට උත්සා දැරුවේ ය.

“මේ බස් එකේ කට්ටිය ටි‍්‍රප් එකක් සෙට් කරගෙනනෙ. කොහෙද ඉතින් මඟ ඇරියොත් කැපිල යයි”

"මං දන්නෙ නෑ කොහෙ කොහෙ යනවද කියල. මේ... එච්චර ඈතක් නෑ මගෙ හිතේ..." විමලසේන කෝපි කෝප්පය තොල ගාන්නට විය.

“බස් එකේ කට්ටිය...?

සුනීතාගේ කල්පනාවට නැඟුණේ විමලසේන කාර්යාලය බලා පිටත් වීමට නියමිතව ඇති බස් රථයයි. විවිධ ස්ථානවල සේවය කරන පෞද්ගලික ආයතනවල අය ද රජයේ සේවකයෝ ද මේ බස් රථයෙන් ගමන් කරති. එක ම වේලාවට නගරයෙන් පිටත් වන බස් රථය තම තමන්ට සුහද සේවයක යෙදෙන පිය මිතුරකු මෙන් ඔවුනට දැනුණි.

බසය විසිතුරු ලෙස සරසා ඇත. දෙවියන් බුදුන් සුවඳ දුමෙන් හා විදුලි බුබුළෙන් පිදෙයි. මේ හැමෝම බසයේ යාව ජීව සාමාජිකයෝ වෙති.

“ඊයෙ විමලසේන මහත්තය එනකල් බලාගෙන ඉඳල තමයි චන්දරේ අයිය බස් එක ස්ටාට් කළේ”

එදා විමලසේන පාරට පැමිණියේ බොහෝ ප‍්‍රමාදව ය. විමලසේන ගෙදර ඇවිත් ඇතැම් තොරතුරු පවසනුයේ ඒවට තාරබර දමමින් ය. සුනීතා වැඩිපුර ගමන් බිමන්වල නොයෙදුණත් විමලසේනගේ කතාබහෙන් යම් යම් දේවල් සිතින් මවාගෙන එහි ආහ්ලාදය මනැසින් විඳ ගනියි.

“අයියෝ! වේලාසනින් කීව නම් ඔය එක්ක ම මටත් දත ගලවන්න යන්න තිබුණනෙ. මගෙ මේ දතේ කරුම වේදනාවක් ඇවිත් දැන් කීප දොහක් වෙනව. මෝල් ගහකින් අනින්න වාගෙ වේදනාව“ සුනීතා විමලසේනට ඇහෙන්නට පැවසුවා ය.

“අද මේ නිවාඩු දවසෙ...?" සුමනසේන ප‍්‍රශ්නාර්ථය දල්වා ඈ දෙස බලා සිටියේ ය.

“ඊටත් එහෙ ගිහින් පැය ගණන් තපින්න පුළුවන්ද පිට අයත් එක්ක යන ගමන් බිමන්වලදි? අපි ලබන සඳුදා නොවැරදී ම යමු”

“ලබන සඳුද වෙනකල් මං උහුලන් හිටියොත් තමයි..." විමලසේනගේ හිත හොඳට ම සවුත්තු විය.

“මේ ගෑනිටත් හැම බඩ කඩිත්තුවක් ම මතක් වෙන්නෙ මං දොට්ට බහින කොට තමයි.” විමලසේනගේ යටි සිත දොස් කියයි.

“දැන් කවුරු කවුරුද යන්නෙ?” බස් එකේ යන අය අතරින් සුනීතා හඳුනාගෙන සිටියේ කිහිප දෙනෙකු පමණි.

“ටි‍්‍රප් යනකොට නං ඔය ඉස්තරම් ම ඒව ඇඳගෙන යන්න හොඳ ම නෑ. ඊටත් වැටුණ වැටුණ තැන්වල ඉඳගන්ඩෝ නැ. පොඩි වෙනව. එතකොට කිළුටු වෙනව“ සුනීතා දොඩමලු වන විට විමලසේන හොරැහින් සූට් එක දෙසට බලා සිටියේ ය.

“ඔය කිළුටු කඩමාලු ඇඳ ගෙන යන්න පුළුවන් ද මේ වාගෙ ගමන් යද්දි” ඔහුට කියැවිණි.

“ගිය පෝයට යසවතී නැන්දල එක්ක අපි වන්දනාවෙ යද්දි ඔය චීත්ත කඩමාලු වගේ ඒව තමයි ඇඳගෙන ගියේ. ඒ තරම් සාර සුබාවට කවුරුවත් ඇඳගෙන ගියේ නෑ. හැබැයි සිරිමා හාමුදුරුවන්ට පූජාව තියන්ඩ නං සුදු පිරුවට තමයි අපි ඇඳගෙන ගියේ. නැතුව බස් එකේ අතනයි මෙතනයි වාඩි වෙවී සාජ්ජෙ දම දමා යන්ඩ ඔය විස්චූර්ණ ඕනැ නෑ නෙ.”

සුනීතාගේ කතාවට ඇහුම්කන් දෙන අතරේ විමලසේන කෝපි කෝප්පය හිස් කළේ ය. එක්වර ම තම බිරිඳගේ රූප කාය දෙසට දෙනෙත් යොමු උණේ ඒ සැණින් ය. ඇගේ බාච්චුවක් වන් කිමෝනාව දෙපසින් දැලි තට්ටුවක් තැවරී ඇත. කොයිතරම් කිව්වත් ඇය ඒ වස්තරය ඉනෙන් ඉවත් නොකරන්නී ය.

උදේ අවදි වූ ගමන් ම වාගේ නොපීරූ කෙස් ද අවුල් වෙලා ය. අතනින් මෙතනින් ඉදුණ කෙස් ගස් ද වෙයි. ඉදිරියට නෙරා ආ දත්, සිනාසෙන විට වළ ගැහෙන කම්මුල්, ඇගේ දිරාපත් සිරුරට අජූවක් ගෙන දෙයි.

ළඟට කිට්ටු වී බැලුවොත් ඇගේ නියපොතුවල දැලි කුණු තට්ටුවකි. වළන් සීරීම, ගොටුකොළ කහට තැවරීම ආදි දේවල් නිසා නියපොතු අව පැහැයෙන් යුක්ත ය. සුනීතාට ගෙදර වැඩ කටයුතු බොහොමයක් වෙයි.

“රාජකාරි වලටත් ගිහින් ගෙදර දොරේ වැඩපළ කරන ගෑනු අනන්ත වත් ඔය ඉන්නෙ. ඩිංගක් තමන්ගෙ රූප සෝබාව ගැනත් හිතන්න ඕන නේද?”

විමලසේන සුනීතාගේ කි‍්‍රයා පටිපාටිය අනුමත නොකරනුයේ එසේ තර්ක කරමින් ය.

විමලසේන ලබා ඇති වරප‍්‍රසාද ගැන සිහිපත් කරන විට සුනීතාගේ හිතට දොම්නසක් ඇති වෙයි.

“ඒව ඉතින් එක එක්කෙනා ලබා උපන් හැටි තමා” විමලසේන හිත යටින් එසේ කියමින් බි‍්‍රප් කේසය අතට ගෙන දොර විවර කළේය.

“උදේට කෑම...?

දවල්ට...?

ඒ මොනවත් අරන් යන්නෙ නැද්ද?"

"අපරාදෙනෙ මට ඊයෙ රෑවත් කිව්ව නං කජු කෑලි හැපෙන්න අලුව ටිකක් හදල දෙන්න තිබුණා..."

සුනීතා එසේ පැවසූයේ ආඳ්‍ර යවා තබාලා බල්පත අතට ගත්තා සේ ය.

“ඒව සේරම හරි. ඒ කට්ටිය ඒව ගෙනෙයි.”

ඒත් සුනීතාගේ හිතට නම් මහ මොකක්ද වගේ ය. ගමන් බිමන් යන විට අඩු තරමේ වතුර බෝතලයක් වත් දමාගෙන යා යුතු ය.

විමලසේන නිවසින් පිටත් වූ සැණෙන් සුනීතා හැළි වළන් පිඟන්වල ඉඳුල් හා දැලි කුණු ද සෝදා පිරිසිදු කළා ය.

ඩිංගක් දවල් වන විට වත්තේ කුණු ගොඩක් එක්කාසු කර ගිනි තැබුවා ය. මඳක් තෙත බරිත වූ කොළ ගොඩ අතරින් ඉහළට නැංග දුම් වලාව ඇයට පෙනෙයි. දවල් වී පොළෝතලය රත්වන තුරු මේ කොළ රොඩු පිළිස්සීම අපහසු බව ඇය දනියි.

මේ වන විට විමලසේන චාරිකාවේ බොහෝ දුරක් ගමන් කරමින් සිටියේ ය. සුනීතාට විමලසේනගේ චාරිකාව ගැන එක්වරම සිහියට නැඟුණි. මේ යාවජීව පිරිසට අයත් වී සිටින්නේ ඉහළ සමාජ තල වල අය නම් ඔවුන් හා පෑහීමට සුනීතා තුළ ඇත්තේ හීනමානයකි.

බන්දුල ඉහළ යවමින් සිටි සරුංගලය බාගෙන මල්ලී සමඟ අම්මා සොයාගෙන ආවේ සිතිවිලි අතර ඇය කිමිදෙමින් සිටි මේ මොහොතේ ය. සුනීතා කුණු ගොඩ ළඟට පිවිසියා ය. කෙමෙන් කෙමෙන් මද්දහන් අව් රැල්ලට දෙපා ගිනියම් වී එයි.

ඈ දෙවන වරටත් කොළ රොඩු ගොඩට ගිනි අවුලන්නට ප‍්‍රයත්නයක් දැරුවා ය. දැන් නම් ඒවා දැවී යන්නේ පට පට ගා පුපුරමින් ගිනි දලු අහසට නංවමින් ය. ඇගේ වත දහදිය බිඳුවලින් කළ සැරසිල්ලක් වැනි ය.

දරුවන් ගේ කලබැගෑනිය ඇයට ඇසෙයි. ඒ සෑම සුඛ දුක්ඛ වින්දනයට නිතරම මැදිවන්නේ තම වල්ලභයා නොව තමා යැයි ඇයට සිතෙයි. පීඩාවෙන් ලබන කෝපාග්තිය විමලසේන කෙරේ යොමුවන්නේ නිරායාසයෙනි.

සැමියා හුදකලාව ට විනෝද සවාරියේ ඇළී ගැළී පී‍්‍රති වීම ගැන ඇගේ සිතේ බලවත් වේදනාවක් මතු වී එයි. මේ සරුව පිත්තල දිලිසෙන ලෝකයේ තමා දැලිකුණු තවරාගත් අවලස්සන මෝඩ ගැහැනියකැයි යන සිතුවිල්ලෙන් ඇගේ සිත පිරෙයි.

විමලසේන ඇයට මුණ ගැහුණේ අහම්බෙන් ය. ඒ ඥාතියකුගේ නිවසේ දී ය. කුලෑටිකමින් හැසිරුණ සුනීතා ගැන ඔහු පැහැදුණේ දුටු මනතින් ය.

“ඔන්න බඹා කෙටූ හැටි තමා” වැඩිහිටියෝ සුනීතාව විමලසේනට තීන්දු කළෝ ය. එදා මෙදාතුර ඇය ඔහු හා සුඛ දුක්ඛ වේදයිතයන් ගෙන් පිරී ගිය කුලගෙයක ජීවත් වූවා ය.

“අම්මේ, අම්මේ” බන්දුල ඇගේ වැලමිටෙන් ඇද සොලවන්නට වූයේ ය.

“කාන්ති නැන්ද කිව්වා, මූද බලන්න යනව කියල.

අපටත් එන්න කිව්ව“

“අපි කියන්නෙ?”

“මල්ලියි මමයි”

සුනීතා ගොලුවත රැක්කා ය. පුංචි එකාගෙන් බේරුමක් නැත.

“කාන්ති නැන්ද කිව්ව වැඩක් නැත්නම් අම්මටත් යන්න පුළුවන් කියල”

“අනුන්ගෙ පස්සෙන් වැටිල ඕවයැ ගිහින් බැහැ පුතේ” අනික පිරිමියෙකුත් නැතුව. ඔය ඉල්ලන දේවල් අරන් දෙන්න මට පුළුවන්ද?

“නෑ අපි මුකුත් ම ඉල්ලන්නෙ නෑ!

දරුවෝ එකහඩින් පැවසුවෝ ය. බන්දුලගේත් පණ්ඩුලගේත් පෙරැත්තය ඇයට මහත්ම වදයක් විය. තමාටත් පී‍්‍රති සමාගමයක යෙදෙන්නට ඇති බාධාව කුමක් ද?

සුනීතා සිතින් තර්ක කළා ය.

දහවල් කෑමෙන් පසු අසල්වැසි හිතවතිය සමග මෙසේ චාරිකාවක යෙදෙන්නට අවස්ථාව ලැබීම භාග්‍යයක් යැයි ඇයට සිතෙයි. ඒත් විමලසේනට නොදන්වා ඇය කිසි දිනක නිවසින් බැහැර නොගියා ය.

“අනික් අතට ඕව කිය කියා යන ගමන් යැ”

දෙගිඩියාව ඇගේ සිත තුළින් මතුවෙයි. අනික් අතට විමලසේන ද සවාරියේ යෙදුණේ එක්වර ම අහසින් කඩාපාත් වූවා සේ ය. ඒක කීවෙත් ඇඳෙන් බහින වෙලාවේ ය.

විමලසේන චාරිකාවේ පූර්ව භාගය ගත කළේ, ඉතා විනෝදකාමී ලෙසට ය. සිතුවාටත් වඩා ගමන ඉක්මනින් අවසාන වීම ගැන ඔහුගේ සිතට දුකක් දැනෙයි.

“විමලෙ, ඔය තරම් තදියම මොකද ගෙදර දුවන්න. අපි බීච් එකට ගිහින් රැල්ල පාගල යමු”

දඟකාර එකියක වූ මැටිල්ඩා මල් පාටින් සායම් කළ දෙතොල් විවර කරමින් තොෙඳ්‍රල් වූවා ය.

“යමු. යමු. දෙපාරක් හිතන්න එපා!”

ඈ විමලසේනට ඇවිටිලි කළේ රථයේ සීනුව හඬවමින් ය.

“අපි මෙතනින් බහිනවා” ඔවුහු ගාලු පාර අසළින් බසයෙන් බැස ගත්තෝ ය. විමලසේන දෙගිඩියාවෙන් වුවද බැස ගත්තේ සිත යට සැඟවුණ සියුම් පී‍්‍රතිය විඳ ගනිමිනි.

කතාබහ කරමින් ද හිම කිරම කමින් ද ගල් පඩිය මත වාඩිවූ ඔවුහු ගෙවීගන යන සුන්දර සන්ධ්‍යාවේ කොටස්කරුවෝ වූහ. මේ ඊයේ පෙරේදා සිට තමා සමග ඇඟලුම් කම් දක්වන මැටිල්ඩා ගැන වංහුං විමලසේන නොදනියි.

“මං විමලෙටත් එක්ක ලන්ච් එක ගේන්නම්”

ඈ පැනගෙන විත් විමලේගේ දහවල් බත් පතේ කොටස්කාරිය වූවා ය. එහි කජු මාළුව, බටු බැදුම ආදි විමලසේන පි‍්‍රය කළ අංග ඇතුළත් වී තිබුණි. හැමෝම දවල් කෑම පැයේදී ඔවුනට විහිලු කළෝ ය. මැටිල්ඩාගේ උල් වූ නියවල තවරා ඇති ලා වර්ණය නිසා ඒවා වඩා පැහැපත්ව දිලිසෙමින් තිබෙන අයුරු හේ දුටුවේ ය. ඇගේ කෙස් කලඹ උඩට කර පීත්ත පටියකින් ගැට ගසා ඇත.

පාදයේ විලුඹේ සිට පොළවට ඉතා උල් ව පිහිටි අඩි උස පාවහන් පැලැඳි ඇය ගමන් කළේ ඉඟසුඟ දෙපසට පදවමින් ය. මැටිල්ඩා ගේ යෙහෙළිය සාමා මෙතෙක් වේලා එතැන දැවටුණ නමුදු මොහොතකින් ඕ අතුරුදහන්ව සිටියා ය. දිය වූ හිම කිරමය විමලසේන ගේ කමිසයේ ඉහිරී ගොස් තිබුණි. ඉස්තරම් ඇඳුම්වලින් සැරැසී චාරිකාවේ යාම ගැන සුනීතා පැවසූ වදන්වල සත්‍යයක් ගැබ් වී ඇතැයි විමලසේනට දැන් දැන් පසක් වෙයි.

ලේන්සුව එලා බිම වාඩිවූ නමුදු අනපේක්ෂිත ලෙස පසු පස කුමක් හෝ පැල්ලමක් ගෑවී ඇති සැටි ඔහු දුටුවේ ය.

තවත් හිම කිරමයකට මැටිල්ඩා ආයාචනා කළා ය. වෙළෙන්දා සයිකලේ නලාව වඩාත් ම හඬවන්නට වූයේ ය.

හිමකිරම වෙළෙන්දා වෙත දැවටුණු කුඩා දරුවකු විමලසේනට ඈතින් දිස්වෙයි. දරුවා තම පුත‍්‍රයාට වඩා උසින් වැඩිය. විමලසේනගේ දෙනෙත් කිසියම් දුරකට ගමන් කර යළි අතරමං වූවා සේ දැනෙන්නට විය.

විමලසේන අතේ මීට මොලවා ගත් කාසිය රැගෙන වෙළෙන්දා අසළට ළං වූයේ ය. මිලදී ගත් හිම කිරමය දරුවා වෙතට දිගු කළේය. ඒ කි‍්‍රයාවෙන් නොපහත් සිත් ඇති දරුවා වහා බියෙන් මෙත් විමලසේන වෙතින් ඉවත් වූයේ ය.

“කෝ මැටිල්ඩා? කොහෙද ගියේ? අන්ධකාරය විසින් ගිලගන්නට හදන පරිසරය මිනිහා සතා හඳුනා ගැනීමට බලවත් උත්සාහයක යෙදෙන්නා සේ විය. ඈතින් නන්නාඳුනන පුද්ගලයෝ ඔබ මොබ සැරිසරති.

“හලෝ හලෝ”

මැටිල්ඩා මහත් ළෙන්ගතු කමකින් යුතුව කිසිවකු අමතමින් ඉදිරියට දිව යන අයුරු හේ දුටුවේ ය. කඩවසම් තරුණයෝ කිහිප දෙනෙක් ඇගේ ඇමතුමෙන් නැවතී බලා සිටියහ. ඔවුන් පේළියක් සෑදී තමාගෙන් දුරස් වී යන අයුරු විමලසේන දුටුවේය.

ඈ ආපසු හැරී බලමින් ලේන්සුවෙන් කිසියම් සංඥාවක් කළා ය. ඒ සමුගැනීමේ අදහසින් විය යුතු යැයි ඔහුට සිතිණි.

මැටිල්ඩාගේ අවධානයට ලක් වූ තරුණයන්ට වඩා තමා කෙතරම් වියපත් දැයි ඔහුට හැඟෙයි. මැටිල්ඩා ගේ සාරිපොට සුළඟේ ඉගිලී යන්නා සේ ඉහළට පාවෙයි.

හදිසියේ ම කිසිවකු තමාගේ සුරතෙහි දැවටෙනු ඔහුට දැනිණ.

“තාත්තේ, අපිත් ආවා” විමලසේන දරුවාගේ කටහ¾ඩින් අවදි වී එදෙසට දෙනෙත් යොමු කළේය.

“තාත්ත එන බවක් දන්නවනං අපිත් තාත්ත එක්ක එනවනෙ” විමලසේන පිළිතුරක් සොයන්නට මෙන් ලතවෙමින් සිටියේ ය.

“කා එක්ක ද ආවෙ?” විමලසේන ගොත ගසමින් වචන ඇහිලුවේ ය.

“කාන්ති නැන්දලත් එක්ක”

අඳුර හාත්පස පැතිරෙයි. මිනිස් පොදි සමූහයක් හඳුනාගත නොහැකි තරමට එහා මෙහා යන එන හැටි ඔහුට පෙනේ. හේ යළිත් ඈත බැලුවේ ය. ඈතින් දිස්වූයේ කවට වදන් තෙපලමින් තරුණයන්ගේ සමාගමයෙහි පසුවන මැටිල්ඩා ය. විමලසේන යළිත් මෑත බැලුවේ ය. ඔහු දුටුවේ, හයාගත් මුවින් යුතුව අදහාගත නොහැක්කා සේ තමා අසලට එන පිය බිරිය සුනීතා ය.

“හත්දෙයියනේ මේ ඔයා ද?” මෙයට පෙර තමා නුදුටු එකියක සේ විමලසේන සුනීතා දෙස බලා සිටියේ ය.

“පුතාලගෙ ඇවිටිල්ල බේරෙන්ඩ බැරිව ගියා. කාන්ති තමයි අපිව එක්කල ආවෙ“

ඉතින් ළමයින්ගෙ ආසාවනෙ කියල මාත් ආව.”

බලවත් වරදක් කළ එකියක සේ ඇය එසේ පවසන විට ඇය ගැන අනුකම්පාවෙන් ඔහුගේ හිත කීරි ගැසී ගියේ ය.

“තාත්තේ, අපි රැල්ල පාගමුද?

කුඩ ඉහලාගත් පේ‍්‍රමවන්තයෝ තැනින් තැන වාඩි වී සිටියෝ ය. අඟ දඟ පාමින් එන අංගනාවන් අතර මැටිල්ඩා ද ඔහු දුටුවා ය. ඇගේ සිනාව දෙතොල් අතර රැඳී තිබුණි.

“අපි අරහෙට යං පුතේ” යැයි සුනීතා පැවසුවේ කටට ආ පලියට ම නො වන බව විමලසේනට සිතිණි.

ඔව්! ඔව්! මේ හරියෙ පුතාලට ඉන්න හොඳ තැනක් නෙවෙයි.”

විමලසේන දරු දෙදෙනාගේ කරට දැමු දෑත තරයේ අල්වා ගෙන සිය බිරිඳගේ පසුපසින් පිය මැන්නේ ය.

Nissanka Rajapaksa

unread,
Apr 21, 2024, 8:35:31 PMApr 21
to INDRAKA group
20

හිඟන්නෙකුගේ කතාව

ඇල්බටෝ මොරාවියා


පරිවර්තනය කේ.එන්.ඕ.අමරදාස

නැති බැරි අවස්ථාවක මහ පාරට බැස, යන එන්නන්ට අත පා එදා වේල පිරිමසාගත හැකි යැයි යමෙක් සිතුවොත් එය වැරදි සිතිවිල්ලකි.

ඔහුට එක් දිනකින් තබා එක් අවුරුද්දකින් වත් සාර්ථක දිවිපෙවෙතක් ගෙවන හිඟන්නෙක් බවට පත්විය නොහැකිය.

සිඟා කෑමේ වෘත්තියේ රහස් අවබෝධ කරගැනීමට කාලයක් ගතවේ. එයට ඉවසීම, කල්පනා ශක්තිය මෙන්ම සහජ දක්ෂතාවය ද අවශ්‍ය කෙරේ. උදාහරණයක් ලෙස මා ගැන සිතන්න. මගේ වයස දැන් අවුරුදු පනහක් පමණ වේ.

මම දැන් අවුරුදු විස්සක පමණ කාලයක සිට සිඟා කෑමේ නිරතව සිටිමි. එහෙත් මේ රැකියාව නිසි පරිදි අවබෝධ කර ගත්තේ අවසාන අවුරුදු දහයේදී පමණය.

ප‍්‍රථමයෙන් මම රැවුළක් නැතිව ඇවිද්දෙමි. හිඟන්නකුට අවශ්‍යයෙන්ම රැවුළක් තිබිය යුතු යැයි මට පසුව අවබෝධ විය. ඒ සියල්ල වටහා ගැනීමට මට කොපමණ නම් කාලයක් ගතවූයේ ද? ඒ සඳහා අඩු වශයෙන් අවුරුදු දෙකක්වත් ගතවන්නට ඇත.

ඊළඟට අපි හිඟන්නකුගේ ඇඳුම දෙස බලමු. තැනින් තැන ඉරුණු කිළුටු ඇඳුම් ඇඳීම පමණක් ප‍්‍රමාණවත් යැයි කෙනෙක් සිතන්නට පුළුවන.

එහෙත් ශීත කාලයේ දී සිනිඳු ඇඳුම් ඇඳීමෙන් හා ගී‍්‍රෂ්ම කාලයේ දී ගොරෝසු ඇඳුම් ඇඳීමෙන් මිනිසුන් ගේ අනුකම්පාව ලබාගත හැකි බව තේරුම් ගැනීමට මට කොතරම් කාලයක් ගතවූයේ ද? තමන් ඇඳ සිටින ඇඳුම්වලට වඩා වෙනස් ඇඳුම් ඇද සිටිනු දැකීම මිනිසුන් තුළ අනුකම්පාව දනවයි.

ගී‍්‍රෂ්ම කාලයට රළු ඇඳුම් අඳින මම ශීත කාලයට සිනිඳු ඇඳුම් අඳිමි. මගේ සිනිඳු කලිසමේ කකුලේ ‘එල්’ අකුරේ හැඩයට කොටසක් ඉරා දමමි. එවිට එය කොඩියක් මෙන් සුළඟට ලෙළදෙන අතර එයින් මගේ කකුලේ කොටසක් ද දිස්වෙයි.

දැන් අපි හිඟන්නකුට තිබිය යුතු අසනීප ගැන සිතමු. ඇත්තෙන්ම ඔහුට කිසි අසනීපයක් නොතිබුණත් ඇසට පෙනෙන ආබාධ, අංගවිකල භාවය, බෙලහීනතාවය ඔහු සතුවිය යුතුය.

උදරය, පෙනහැල්ල හෝ මොළය වැනි අභ්‍යන්තර ස්ථානවල ඇති ආබාධවලින් පලක් නැත. ඒවා වණ, තුවාල කොර ගැසීම් හෝ අත් පා වලංගු නැතිකම වැනි ඇසට පෙනෙන බාහිර ආබාධ විය යුතුය.

මේ නිසා මම මගේ කකුලක ලී පතුරු තබා බැද ඒ මත රෙදි පටි ඔතා ඒ කකුලට රබර් සෙරෙප්පුවක් දා ගතිමි. මෙවැනි කකුලකින් යුත් හිඟන්නකුට ඔහුගේ ආබාධ ගැන අන් අයට කීමට අවශ්‍යකමක් නැත.

මුහුණෙන් පිළිඹිබු විය යුතු හැඟීම් පිළිබඳව සඳහන් කිරීම අවශ්‍ය නැත. මුහුණේ තිබිය යුතු නියම හැඟීම සොයා ගැනීමට ප‍්‍රථම මා හැඟීම් කීයක් නම් අත්හදා බැලුවේ ද? මෙලෙස හැඟීම් ගණනාවක් අත්හදා බැලීමෙන් පසු දේවස්ථානයක එල්ලා තිබු පින්තූරයක ශාන්ත ජෝශප් සාන්තුවරයා ගේ මුහුණේ පිළිබිඹුව තිබූ හැඟීම් මගේ මුහුණට ආරූඪ කරගතිමි.

 අපේක්ෂාසහගත, බැගෑපත් හා බයාදු බැල්මකින් යුතුව එතුමා දෑස් අහසට යොමුකරගෙන සිටියේය. එම චිත‍්‍ර ශිල්පියා ඔහුගේ කාර්යය මනාව දැන සිටි අයෙක් විය යුතුය. අප වැනි විශේෂ වෘත්තියක නියැළි සිටින අයකුට දක්ෂ චිත‍්‍ර ශිල්පියකුගේ නිර්මාණයකින් ලබාගත හැකි ආභාසය ඉමහත් ය.

මා දැන් සර්වසම්පූර්ණ හිඟන්නකු යැයි ඔබට සිතන්නට පුළුවන. තවත් ලොකු අඩුවක් මා සතුව ඇති බව මට පෙනී ගියේ ය. වයසක රෝගී අහිංසක හිඟන්නකු වශයෙන් අංග සම්පූර්ණ වීමට නම් තමා කැටුව යාමට කුඩා ළමයකු සිටිය යුතුය. එහෙත් ලද දෙයින් සතුටු නොවී වැඩි වැඩ කිරීමට ගොස් මා අමාරුවේ වැටුණි.

මා රාති‍්‍රයට නතර වී සිටි පෙදෙසේ කුඩා ළමයින් බොහෝ දෙනකු සිටි අතර මා කැටුව යාම සඳහා ඔවුන් භාරදීමට සූදානම් දෙමාපියෝ බොහෝදෙනෙක් ද සිටියහ.

කාර්යාලයක් ශුද්ධ පවිත‍්‍ර කිරීම සඳහා දිනපතා සේවයට ගිය, අයුරෙලා නම්, කුඩා සිරුරකින් යුත් විරූපී ගැහැනියක් වූවා ය.

ඇයට ක්ලෙමෙන්ටියා නම් පස් හැවිරිදි දියණියක් සිටියා ය. වරෙක මේ ගැහැනිය ඇගේ කුඩා දියණියට සුරතල් වදන් පවසමින් සිප වැළඳ ගනී. තවත් වරෙක රොස් පරොස් වදනින් ඇයට බැණ වදී. දරුවකුට නොකිය යුතු දෑ කියා ඇයට ශාප කරයි.

පිරුණු රතු මුහුණක්, නිදිබර නෙත් සඟලක් හා නිරෝගී සිරුරක් මේ දැරිය සතු විය. මට අවශ්‍ය වූයේ ඇය වැනි නිහඬ, කෙළිලොල් දරුවෙකි.

එක් දිනක් සිරිත් පරිදි අයුරෙලා මේ කුඩා දැරිවියට බැණ වදිනු ඇසුණු මා ඇය විසූ පැල්පතට ගොස් දිනකට ලයර් තුන්සීයක් හා ඇගේ කෑම බීම දීමේ පොරොන්දුව මත මා කැටුව යෑමට සිය දියණිය දිය හැකි දැයි ඇගෙන් විමසීමි.

ඇය මගේ ඇඟට කඩා පැන රොස් පරොස් වදනින් බැණ මා එළවාගත්තා ය. පසුදා උදයේ මගේ පැලේ දොරට තට්ටු කරන ශබ්දය ඇසී දොර ඇර බැලූ විට මා දුටුවේ අයුරෙලා හා ක්ලෙමෙන්ටිනා ය.

එදින සිට ක්ලෙමෙන්ටිනා සමඟ හිඟමනේ යෑම මම ආරම්භ කළෙමි. පියාසා හි පිහිටි විශාල පඩිපෙළ වෙත ගොස් එහි පඩියක් මත වාඩිවී බිත්තියට හේත්තු වන මා වෙළුම් පටි සහිත තුවාල කකුල ඉදිරියට දික්කරගෙන, මගේ තොප්පිය උඩ අතට හරවා ඒ අසලින් තබමි.

ඇස් අහසට යොමු කර අත්ල ඉදිරියට දික්කර පුරුදු හෑල්ල කියවීම ආරම්භ කරමි. මගේ උකුලේ උඩුබැලි අතට නිදාගන්නා ක්ලෙමෙන්ටිනා, ක්ලාන්ත වූවෙක් මෙන් වැතිර සිටී. එහෙත් මඟතොට යන අය සිතුවේ ඇය දුර්වලකම නිසා ක්ලාන්තව මෙසේ වැතිර සිටිනවා කියා ය.

ඇය මෙසේ මගේ උකුලේ හොවාගෙන සිටීම නිසා විඩාවට පත්වූ විට, මඳක් සෙල්ලම් කර එන ලෙස මම ඇයට කියමි.

එවිට ඇය ඇගේ කුඩා බෝනික්කා ද රැගෙන ගොස් අසල ඇති තණබිස්සේ සෙල්ලම් කරයි. ටික වේලාවකට පසු මඟ යන එන්නන් දෙසට අත දික්කර සිටින ලෙස හෝ ඇය පසුකර යන්නකුගේ කලිසමෙන් අල්ලා යමක් පිනට දෙන මෙන් ඉල්ලන ලෙස හෝ මම ඇයට කියමි.

කුඩා දරුවකු කිසිවකු ගේ කලිසමේ එල්ලීමෙන් හා කුඩා දරුවකුගේ දුක්බර මුහුණ ඒ තැනැත්තා ගේ මුහුණ දෙසට බැගෑපත් ලෙස යොමු කිරීමෙන් ප‍්‍රාතිහාර්යයන් පෑ හැකිය. ඇය මේ සියල්ල කළේ නියම හැඟීමකින් යුක්තව ය.

ඇය කුඩා වුව ද බුද්ධිමත් ය. මෙවැනි අවස්ථාවල කුමන ආකාරයේ අදහස් ඈ තුළ පහළ වේ දැ යි දැනගැනීමට මා තුළ බලවත් ආශාවක් විය.

මට උසුළු විසුළු කිරීම නිසා හා හිරිහැර කිරීම නිසා මා සාමාන්‍යයෙන් කුඩා ළමයින් ප‍්‍රිය නොකළත් මගේ ම දියණියකට මෙන් ක්ලෙමන්ටිනාට මම ආදරය කළෙමි.

එහෙත් ඇගේ මව වන අයුරෙහිලා මට මගේ පාඩුවේ සිටීමට ඉඩ නොදුන්නා ය. දියණිය තැන්පත් එකියක වු ව ද මව සැර පරුෂ ස්ති‍්‍රයක වූවා ය. දවස පුරා හිඟමනේ ගොස් වෙහෙසට පත්වන මා මඳක් හෝ තෘප්තියක් ලබන්නේ වයින් වීදුරුවක රස බැලීමෙනි.

ඇඳිරි වැටීගෙන එන විට මගේ පැල්පත අසල පිහිටි බීමහලට ගොස් වයින් ලීටරයක් හෝ දෙකක් බී විඩාව සංසිඳවා ගැනීම මගේ සිරිත විය. එහෙත් ක්ලෙමෙන්ටිනා සමඟ හිඟමනේ යෑම ආරම්භ කළ දින සිට මට ඒ නිදහස අහිමි විය.

මගේ මේ පුරුද්ද ගැන දැනගත් ඒ යක්ෂ ගැහැනිය, පළවැනි වයින් වීදුරුවෙන් මගේ තොල් පොඟවා ගැනීමටත් පෙර මගේ ආරාධනයක් නොමැතිවම, මගේ අසුන ඉදිරිපිට අසුනේ බලෙන් වාඩිවී, ඇයටත් වයින් ටිකක් දෙන ලෙස ඉල්ලා සිටී.

ඉන්පසු ලීටර් භාගයක් ම එක හුස්මට ගිල දමන ඇය මට බැණවැදීමට පටන් ගනී. මුලදී සෙමෙන් පටන් ගන්නා මේ බැණවැදීම්වලට මා මඳක් හෝ විරුද්ධතාව ප‍්‍රකාශ කළහොත් ඈ ශබ්දය වැඩිකර නොයෙකුත් අවලාද කීමට පටන්ගනී. මෙය විනෝදයක් කරගත් බීමහලේ අනෙක් අය නොයෙක් දේ කියමින් ඇය තව තවත් උසිගන්වති.

”අයුරෙලා ඔය මිනිහා ජීවත් වෙන්නෙ උඹේ දුව හින්ද හම්බකරන සල්ලිවලින් නොවැ.”

යමෙක් මෙසේ කීවිට යක්ෂාවේශ වූවෙක් මෙන් කෝපවන ඕ වේගයෙන් නැඟිට මා දෙසට ඇඟිල්ල උළුල් කර, “කපටිය! හොරා! මගෙ දුවට ලයර් තුන්සීයයි. උඹට දාස් ගාණක්. ඒ ඔක්කොම සල්ලිවලින් උඹ අඩිගහනව.

එහෙම කරල මාව රවට්ටන්ඩ උඹ කියනව ක්ලෙමෙන්ටිනාට ආදරෙයි කියල. ඒක හරියට කරත්ත කාරයෙක් කරත්තෙ අදින ගොනාට ආදරෙයි කියන්න වාගෙ. හ්ම්! මං මීට පස්සෙ මගෙ කෙලීව උඹට දෙන්නෙ නෑ. මගෙ රත්තරං කෙල්ල. මං උඹට විරුද්ධ ව පොලීසියට පැමිණිලි කරනව.”

ඇයට තවත් බීම අරන්දී සන්සුන් වන ලෙස කීවත් ඇය නොවේ සන්සුන් වන්නේ. අවසානයේ, “ආයෙත් උඹ මගෙ දෑහැට පේන්ඩ එපා”, කියමින් ඇය දරුවාත් ඇදගෙන නික්ම යයි. එහෙත් මේ සියල්ල ඇගේ බීමත්කම නිසා ඇතිවූ දේවල් ය.

පසුදා උදයේ සිරිත් පරිදි නියම වේලාවටම ක්ලෙමෙන්ටිනා කැටුව පැමිණෙන ඇය, දරුවා රැගෙන යන ලෙස මට ඇවිටිලි කරයි. මේ සිදුවීම් සැමදා නොවෙනස්ව එලෙසින්ම සිදුවෙයි. ඇගේ කන්දොස්කිරියාව ඉවසිය නොහැකි වූ විට, මේ පිළිවෙත වෙනස් කළ යුතු යයි මට සිතුණත් ක්ලෙමෙන්ටිනා කෙරේ මා තුළ වූ ආදරය නිසා එය කළ නොහැකි විය.

එක දිගට පැය දහයක් පමණ සිඟාකෑමෙන් පසු එක සැන්දෑවක දවසේ ආදායම ගණන් බැලීම සඳහා සිරිත් පරිදි නිසංසල ස්ථානයකට ගියෙමි. ඒ ගඟකට බසින පියගැට පෙළකි. එහි උඩ කොටසේ පඩියක් මත ක්ලෙමෙන්ටිනා වාඩි කරවූ මම පහත පිහිටි පඩියක් මත හිඳගෙන මගේ කාසිමල්ල ඒ මත හැලුවෙමි.

ඉන්පසු එක් එක් වර්ගයේ කාසි වෙන වෙනම පේළියට තැබුවෙමි. ඒ අතර ලයර් දෙසීයේ නෝට්ටු දෙකක් හා ලයර් පන්සීයේ නෝට්ටුවක් ද විය. ලයර් පන්සීය දුන්නේ එක් තරුණයෙකි. ඒ ඔහුගේ පරිත්‍යාගශීලී භාවය සිය පෙම්වතියට පෙන්වීම සඳහා ය. මුදල් ගණන් කිරීම කෙරෙහි සිත යොමුකර සිටි මට අවට ධාවනය වූ රථවල ශබ්දය පවා ඇසුණේ නැත.

”අද හොඳ වාසි දවසක් වාගෙ“

හදිසියේ ඇසුණු ගැහැනු කටහඬකින් තිගැස්සුණු මම හිස ඔසවා බැලීමි. ඒ අයුරෙලාගේ කටහඬ ය.

”ඇයි මොකද? ඔහේට මොනවද ඕනෑ? මං මේ ඔහෙගෙ සල්ලි කොටස ගණන් කළේ ක්ලෙමෙන්ටිනාව බාර දෙන්ඩ එන්ඩයි.”

මුදල් ගොඩ දෑතින් වසාගනිමින් මම කීවෙමි. ඇය මිට මොලවාගෙන මගේ ඇඟට කඩා පැන්නා ය.

”කපටිය! හොරා! මගෙ කෙල්ලට ලයර් තුන්සීයයි. උඹට දාස් ගාණක්. හ්ම්. උඹ හිතුවද මං මෙව්ව දන්නෙ නෑ කියලා?”

ඉක්මනින් කාසි ගොඩ එකතු කරගත් මම ඒවා සාක්කුවලට දමාගත්තෙමි. ක්ලෙමෙන්ටිනා ගේ අතින් අල්ලාගෙන ඉක්මනින් පියගැට පෙළ නැග්ගෙමි. ඉන්පසු අයුරෙලා දෙසට හැරුණු මම,

”ආ මෙන්න උඹේ දුව. මෙන්න අද දවසෙ ගාස්තුව. මෙන්න තව වැඩිපුර ලයර් පනහක් තියෙනව. මීට පස්සෙ උඹේ දුව මට එපා. දැන් ඉතින් මගෙ දැහැට නොපෙනී පලයන්. ආයෙත් මං ළඟට ආවොත් මොනවද වෙන්නෙ කියල දැනගනින්” කීවෙමි.

මා අදහස් කළේ හැකි ඉක්මනින් ඇගෙන් ඉවත්ව යෑමට ය. එහෙත් මා ස්ථිර වශයෙන් තීරණයක් ගෙන ඇති බව දැනගත් ඇය දරුවාත් අතින් ඇදගෙන මා පසුපසින්ම ආවා ය. යක්ෂාවේශ වූවෙක් මෙන් කෑමොර දෙන්නට වූවා ය.

”හරිනම් ඔය සල්ලි ඔක්කොම උඹ මට දෙන්ඩ ඕනෑ. පල්හොරා! කපටියා!”

බළලකු විසින් ලුහුබඳිනු ලැබූ මීයකු මෙන් මම හැකිතරම් වේගයෙන් ගමන් කළෙමි. ඕ කෑමොර දෙමින් මා පසුපසින් පැමිණි අතර මම ඇගෙන් පලායෑමට උත්සාහ ගත්තෙමි.

මෙලෙසින් අපට වැඩි දුරක් යෑමට නොහැකිවිය. සුළු පිරිසක් අප පසුපසින් එන්නට වූහ. මා වැරහැලි ඇඳගත් විරූපී මිනිහෙක් නිසාත් ඇය කුඩා ළමයකු ද අතින් අල්ලාගෙන යන දුප්පත් ගැහැනියක් නිසාත් මේ පිරිස මා කෙරේ කෝපයෙන් හා ඇය කෙරේ අනුකම්පාවෙන් පසුවෙන බව මට අවබෝධ විය. නොයිවසිලිමත්වූ මම නතර වී,

”ඔහෙට ඕනැ කරන ගාණක් මං දෙන්නම්. මගෙ පාඩුවෙ මට ඉන්ඩ දෙනව”යි කීවෙමි.

මෙයින් වූයේ තත්ත්වය තව තවත් දරුණු වීම ය. අවස්ථාවෙන් ප‍්‍රයෝජනය ගැනීමට සිතූ ඇය මා ජීවත්වන්නේ ඇගේ දරුවා මඟින් උපයන මුදල්වලින් බවත් මා හොරෙක් බවත් පවසමින් තව තවත් කෑමොර දෙන්නට වූවා ය.

අනතුරුව ඕ මගේ කබායේ කොණකින් අල්ලාගත්තා ය. කෝපය නිම් හිම් නැතිවූ මම මගේ සැරයටියෙන් ඇගේ කකුලට වැරෙන් පහරක් ගැසුවෙමි.

ඉන්පසු සිදුවූයේ කුමක්දැයි මා විස්තර නොකළාට ඕනෑම කෙනෙකුට සිතාගත හැකිය. හමුදා නිලධාරියකු වැනි, උස, හැඩිදැඩි පෙනුමකින් යුත් අයෙක් පිරිස අතරින් ඉදිරියට පැමිණ, “මම මේ මිනිහා ගැන දන්නවා.

මේක බොරුකාරයෙක්. මහ කපටියෙක්”යි කීවේ ය. මෙවිට අයුරෙලා පිස්සියක මෙන් හැසිරෙන්නට වූවා ය. දෑතින් හිසට ගසාගනිමින් විලාප නඟන්නට වූවා ය. එතැන සිටි කරුණාවන්ත ස්ති‍්‍රයක් ක්ලෙමෙන්ටිනා ගේ අතින් අල්ලාගෙන, පසෙකට කැඳවා, ඇය සනසන්නට වූවා ය.

එවිටම කාකි ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් දෙදෙනෙක් එතැනට පැමිණියහ. මාත් අයුරෙලාත් ක්ලෙමෙන්ටිනාත් පොලීසියට කැඳවාගෙන ගියහ.

අයුරෙලා ඒ මොහොතේ ම නිදහස් කළ ඔවුන් විසින් සිඟාකෑම හා බීමත්ව හැසිරීම යන චෝදනා මත මා සිරකූඩුවට දමන ලදී. දින කීපයකට පසු මගේ කකුලේ ඔතා තිබූ වෙළුම් පටි ඉවත් කළ ඔවුහු මගේ ගම් ප‍්‍රදේශයට යන ලෙස මට නියම කළහ.

කුඩා ළමයින් සී සෝ පදිනු මා දැක තිබේ. ඔව්! ජීවිතය ද සීසෝවක් මෙනි. විටෙක එහි එක පැත්තක් ඉහළට යයි. අනෙක් විට ඒ පැත්ත පහළට වැටෙයි. ඔබ ඉහළ යන තරමටම කවදා හෝ අන්ත ප‍්‍රපාතයට ද ඇද වැටෙනු ඇත.

රෝමයේ දී යාචකයකු ලෙස ඉතා සාර්ථක දිවිපෙවෙතක් ගෙවූ මම, මගේ ගම් ප‍්‍රදේශය වන ඇගරලෝහි අන්ත දුගී දිවි පෙවෙතක් ගෙවමි.

මගේ බොරු තුවාල කකුල, වැරහැලි ඇඳුම් හා අහිංසක ක්ලෙමෙන්ටිනා දැක, රෝම වැසියන් මට මුදල් දුන් නමුත් ඇත්ත වශයෙන් ම හාමතේ පසුවෙන මට අඩුතරමින් පාන් පෙත්තක් වත් දෙන කෙනෙක් නැත.

එහෙත් මම බලාපොරොත්තු සුන්කර නොගනිමි. මා නැවතත් රෝමයට ගියවිට දැන් පහතට වැටී ඇති සීසෝවේ මා වාඩිවී සිටින පැත්ත ඉහළට යනු ඇත.

https://archives.silumina.lk/punkalasa/20081207/_art.asp?fn=ar0812073

Nissanka Rajapaksa

unread,
Apr 22, 2024, 7:40:35 PMApr 22
to INDRAKA group
21

පේතානං උපකප්පති

මිල්ටන් මද්දුමාගේ

ඝන ලෑලිවලින් සැදි උසට උසේ ඇති සොල්දරය යට කාමරයේ වියන් ඇඳ මත රාලහාමි උඩුපල්ලෙන් දපා සිටී.

ඇඳ වටා සිටි දූ දරුවෝ දැන් මොකද කරන්න යන හිස් බැල්මෙන් එකිනෙකා දෙස බලති. ඈත ගසක කුරුමිනියෙක් කා යාන්තමින් එල්ලෙන පොල් කොළ අගිස්සක් හුළඟට නලියයි.

හාත්පස සියල්ල අඳුරු වේගෙන එන ආකාරය රාලහාමි ට දැනුණි. එම අඳුර දිගේ ඉදිරියට ගමන් කළ ඔහු ට හමු වූයේ පටු කපොල්ලකි.

ඒ කපොල්ල ක‍්‍රමයෙන් කුඩා වූ බැවින් රාලහාමි ට සිදු වූයේ උමගක මෙන් බඩ ගා යාමට ය. කොහේ යන්නේදැයි නිශ්චයක් නැති ඔහුට දැනුණේ තද කළුවර පමණි.

හදිසියේ කෙටූ විදුලියත් සමග රාලහාමි එතනින් උඩට විසි විය. ‘යානිහීධ භªහුථානිහී’ යි ඇසුණු හෙණ හඬක් වන් හඬ රාලහාමිගේ කන් සිදුරු කර ගෙන පසාරු කර ගෙන අනින යවුලක් මෙන් විය. එයින් බියට පත් රාලහාමි කෑ ගසන්නට විය.

’මෙයාට කරදර කරන්න එපා ඔහේ හිටපුවාවෙ‘ කවුදෝ කියනු රාලහාමි ට රහසින් මෙන් ඇසුණි.

’තාත්තෙ තාත්තෙ මේ තාත්ත ව බලන්න ඇවිල්ල’

’හ්ම් හ්ම්’

’දීපිකා... ගුණවතී නැන්දගෙ දුව‘

’හ්ම්’

’සීයෙ’

ඒ හඬ ඔහුට ඇසුණේ ද නැද්ද යන්න පැහැදිලි ව කිව නො හැකි ය.

’ගු... ගු...’ රාලහාමි මොනවාදෝ කියන්නට තැතනුවත් ඔහුගෙන් පිට වූයේ ගොර ගොරයක් පමණි.

අක්කර පහළොවක් පමණ වූ රබර් වත්ත දිගු කලකින් එළි කොට නො තිබුණේ එහි කාලය අවසන් ව තිබූ බැවිනි. බෝවිටියා හා දං පඳුරුවලින් මුළු වත්ත ම වැසී තිබුණි.

ඔහු හෙමිහිට වත්ත දිගේ ගාටන්නට වූයේ කිරි කපන ගෑනුන් රබර් කිරි හොරකම් කරතියි යන ආරංචිය නිසැක වශයෙන් ම දැන අතට ම අල්ලා ගැනීමට ය.

ඒ වනවිට වත්ත උඩහ කිරි අකුලා අවසන් ව තිබූ බැවින් එහි කිසිවෙක් නො සිටියේ ය. රාලහාමි කඳු බෑවුමේ ගල් දෙබොක්කෙන් පහළට බැස්සේ කරලැයින්ගේ කිරි කට්ටියට ය. එදා කරලැයින් වෙනුවට කිරි ඇකුලුවේ ගුණවතී ය.

ගුණවතී උකුළ සල සලා ගහෙන් ගහට යන ආකාරය දෙස රාලහාමි බලා සිටියේ අපූරු සෞන්දර්යයක් එහි තිබූ බැවිනි. දණහිසට කොටකර අඳින ලද චිත්තය නිසා ගුණවතීගේ කෙණ්ඩා කිරිගරුඩ මෙන් බබළයි.

කිරි පොල් කට්ට ගන්නට පහත් වන ගුණවතී ගේ ඉන අඟල් දෙක තුනක් පළල් වෙයි. රාලහාමි රබර් ගස යටට ම ආවේ පහත් වී කිරි පොල් කට්ට ගන්නා ඇගේ රූප සෞන්දර්යය මැනවින් විඳ ගන්නට ය.

හදිසියේ ම රාලහාමි දුටු ගුණවතී තිගැස්සී සිටියා ය. ගුණවතී පමණක් නොව ගුණවතීගේ මව වුව ද රාලහාමි කෙරේ දැක් වූයේ මහත් භය පක්ෂපාතකමකි.

තම වයසේ ම පසුවන රාලහාමිගේ දූ බියටි‍්‍රස් නෝනා සමග වුව ද කිසි දින කථා කොට නැත්තේ මේ භය පක්ෂපාතකම ඔහුගේ දරුවන් තුළට ද කාන්දු වී ගොස් තිබූ බැවිනි.

මහපට ඇඟිල්ලෙන් කිරිපොල් කට්ට සීරූ ගුණවතී එය කිරි පීල්ලයේ රැඳවා ඊළඟ ගසට නො ගොස් බිම බලා ගත්තා ය.

’කෝ බන් බොලගෙ අම්ම?’

’අම්ම කිරි කපල ගියෙ. ඉසේ කැක්කුමයි කියල මට අකුලන්න කිව්ව‘

’අම්මට මක් වෙලා ද?’

’හෙම්බිරිස්සාව හැදෙන්න ද කොහෙදයි’

’උඹ ඉස්කෝලෙ ගියෙ නැද්ද?’

’අද සෙනසුරාදනෙ’

’උඹ දැන් කීයෙ ද?’

’මේ අවුරුද්දෙ විභාගෙ ගන්නව‘

’විභාගෙ පාස්වුනහම බොලව අපිට අල්ලන්නවත් බැරිවෙයි’

’කවුද දන්නෙ පාස් වෙයිද කියල’

’ඒත් බොල බයවෙන්න එපා. මං බොලව අහක දාන්නෙ නෑ, බොලගෙ තාත්තත් වැඩ කළේ මං ගාවනෙ. හරි හොඳ මනුස්සය’

’මං දන් නෑ උඹ ඔච්චර ලොකු විත්තිය මං හිතුවෙ තාම පුංචි කෙළි පැංචියක් කියලනෙ. උඹ දැන් හරි හැඩනෙ.

බොට පොත් පත් එහෙම අඩුපාඩු නන් මට කියහන්. මං බොට අරන් දෙන්නම්. උඹලෑ තාත්ත කළ උදව්වලට සලකන්න එපෑ’

’නෑ රාලහාමි මට මුකුත් ඕනැ නෑ’

’එහෙනම් ඔය කිරි ටික අකුලහන්’

ගුණවතී සමග ම රාලහාමිත් ගහෙන් ගහට ගොස් කැපුම් පරික්ෂා කළේ ය.

’අපරාදෙ කියන්න බෑ බොලෑ අම්ම නම් හොඳට පරිස්සම් කරල කිරි කපනව. අර කට්ටියෙ ගස් ටික සේරො ම තුවාල කරල’

ගල් දෙබොක්කාව මැද තිබූ රබර් ගසේ කිරි පොල් කට්ටට අත තබනවාත් සමග ම රාලහාමිගේ හැඩි දැඩි අත් දෙක ගුණවතීගේ කරට උඩින් වැටිණි.

’අනේ රාලහාමි මාව අතාරින්න’

’කෑ ගහන්න එපා කෑ ගැහුවොත් දන්නවනෙ වෙන දේ’

එම ගස මුදුනේ අත්තක් උඩ උන් වැඳිරියක හ්ම් හ්ම් ගා කෙඳිරි ගාන්නට විය. රබර් ගෙඩියක් පුපුරා හතරට පැළී එහි කටු හතර අතට විසිරී ගියේ ය. කිරි බාල්දියට වැටුණු රබර් ඇටයකින් කිරි පිරී තිබුණු බාල්දියෙන් බින්දු කීපයක් ඉවතට විසි විය. මොහොතකින් ඒ සියල්ල අඳුරේ ගිලී ගියේ ය. රාලහාමි අඳුරු ආගාධය දිගේ ගමන් කරන්නට විය.

ශි‍්‍රයා කාන්තාව මෙන් රන්වන් පාටැති ගුණවතී දිග කොණ්ඩය පිටට හෙලාගෙන සිහින් සිනිඳු සේලයකින් සැරසී ඉදිරියට ආවා ය. ඕ රාලහාමි දෙස ඇසිපිය නො හෙලා බලා සිටින්නට වූවා ය. ක‍්‍රමයෙන් ඇගේ ඇස් විශාල විය.

රතු පාටට හැරුණු ඇස් දෙක ටික වේලාවක් යන විට ගොරක ගෙඩි දෙකක් තරම් විය. ඈ දෑත් ඉදිරියට දිගුකළාය.ඇගේ නිය පොතු ටිකෙන් ටික වැඩෙන්නට විය.

පිහි තුඩු මෙන් උල් අඩි දෙකක් පමණ දික් වූ නියපොතුවලින් රාලහාමිගේ බෙල්ල පසාරු වන සේ අල්ලා ගත්තා ය. ඒ සමගම අඳුරු මාවතේ සිට ගැඹුරු ආගාධයකට වැටුණි.

එහි පවතින තරම් අඳුරක් කිසිම දිනක ලොව පැවතියේ යයි සිතිය නො හැකි ය. අසූචිවලින් පිරුණු එම වළ තුළ දී ගුණවතී ගේ නියපොතුවලින් ගෙල හිල් වූ රාලහාමි කෑ ගසන්නට විය.

එවිට ම ඒ ආකාරයෙන් ම නියපොතු වැඩී තිබුණු රාලහාමිගේ වත්තේ කිරි කැපූ සෝමවතී චන්ද්‍රා සහ එමලිනා ද පැමිණ රාලහාමිගේ කියන නො කියන සියලු තැන්වලට නියපොතුවලින් ඇන සිදුරු කරන්නට වූහ. රාලහාමිගේ මර හඬ පිටතට ඇසුණේ ගොර ගොරයක් ලෙසිනි.

දැන් ඔය පිරිකර රාලහාමි ට අත ගස්සන්න.

පිරිත් දේශනා කළ ස්වාමින් වහන්සේගේ කීමට අනුව වැඩිමහල් දියණිය රාලහාමිගේ දෑත අල්ලා පිරිකරට අත ගැස්සුවා ය. ටික වේලාවකින් සියල්ල සන්සුන් විය. රාලහාමි අගාධයේ පතුල ට ම කිඳා බැස්සේ ය.

https://archives.silumina.lk/punkalasa/20081130/_art.asp?fn=ar0811303

Nissanka Rajapaksa

unread,
Apr 23, 2024, 9:05:19 PMApr 23
to INDRAKA group
22
පුලුන්

- ශාන්ති දිසානායක

කොට්ට ගසේ උදාරම් භාවයත්, එහි ම ඵලයක්ව විසිර යන සුළං රොදක සැහැල්ලුවත් ගැන හිතන්නට සාගරිකාට ඉස්පාසුවක් තිබුණේ නැත. උදේ හවස පුලුන් අහුලන අතරතුර ඇය හිස නඟා ඉහළ බලන්නට ද උත්සුක නොවූවාය.

පුලුන් ගෙඩි ද පුලුන් කැටිති ද හැකිතාක් ඉක්මණින් අහුලා ගැන්ම ඇගේ එක ම අභිප‍්‍රාය විය. කොට්ට කීයක් සකස් කළ හැකි වේද යන්න පිළිබඳව නම් ඇය උවමනාවටත් වඩා කරදර වූවාය. ඔව්, එක කොට්ටයක් යනු රුපියල් දෙසීයකි. රුපියල් ම දෙසීයකි.

එතකොට දෙසීයේ ඒවා කීයක් ද? දහයක්! එයින් හැඟෙන්නේ රුපියල් දෙදහසකි. ඇගේ මහත් දෙතොල සාඩම්බර සිනාවකින් එළිය වැටේ. ඒත් ඉතින් කොට්ට දහයක් සකස් කිරීම පහසු කර්තව්‍යයක් නොවේ.

පුලුන් පමණක් නොසෑහේ. රෙදි... නූල්... තව ඉතින් මල් කිණිත්තකුත් මසාගත් කළ ඉස්තරම් ය.

රැළි පටියක් ඇල්ලු කොට්ටයක ඇත්තාවූ පියකරු භාවය දකිමින් ඇය පුලුන් පිරවූ උරය ඔසවා ගත්තා ය.

“හානේ... අදත් ඔක්කොම අහුලලා...”

ඒ සෝබර හඬ නැගුණේ කුඩා කෙල්ලක වෙතිනි. සාගරිකා හැරී බැලුවේ සටනට සූදානම් වූ සෙබළියක මෙනි.

එක ම පරහකට තිබුණේ ඇය අත ගිනි අවියක් නොතිබීම පමණි. එහෙත් ප‍්‍රතිවාදිනියගේ කෙසඟ සිරුර ඈ තුළ වහා අවදි වූ සටන්කාමීත්වය අකා මකා දැමුවේ ය.

“ඔව්... ඔක්කොම ඇහින්දා... ඇයි මොකද? නඩු දාන්ඩද...?”

කෙල්ල ගේ දිගැටි මුහුණ තවත් අඳුරු ව වියළි පත් මතට නැඹුරු විය.

“පාරෙ තියෙන කොට්ට ගස්වල පුලුන් ඇහිදින්න කාගෙන්වත් අවසර ගන්ඩ ඕනයැ... හරි වැඩක් නෙ...”

දැවැන්ත කොට්ට ගස යට කළු කෙල්ල වඩාත් කෘශව දිස්විය.

“මටත් පුලුන් ටිකක් දෙනවද?”

කෙල්ල බැගෑබර ස්වරයෙන් ඇසුවාය. වෙනත් ඕනෑම කෙනෙක් ඒ හැඩුම්බර හඩින් සසල ව යනවා නිසැක ය. එහෙත් දෙදරු මවක වන සාගරිකා ඒ තරම් ළඳ බොළඳ නොවූවා ය.

කුලියක් මලියක් කර උපයාගන්නා රුපියල් සත කසිප්පු වතුරේ දියකර හරින සැමියා නිසා ම ඇය ගහක් ගලක් මෙන් සවිමත් ය.

නොඑසේනම් ඇගේ දෙදරුවන්ට පාසල් යන්නටවත්, දෙවේලක් කුස පුරවාගන්නටවත් ඉඩක් නොලැබේ.

මේ පුලුන් අහුලා ගෙන ගොස් නිම කරන කොට්ටයක් රුපියල් ම දෙසීයකි. හැමදාමත් කොට්ට වෙළඳාම සරු නෑ තමා.

ඒත් පාර අද්දර ඉන්නා ඇය ලී මැස්ස මත ගස්ලබු, තැඹිලි, දොඩම්, බෙලි, දිවුල් වැනි ගෙඩි කීපයක් ද ලස්සනට අසුරා තබයි. යාන වාහනවලින් පූජා නගරය නමදින්නට යන්නෝ ඇගේ ඇබිත්තං කඩය ළඟ මඳකට ගිමන් හරිති.

“මේ කොට්ටවල පුලුන්මද? රෙදි කෑලි ස්පොන්ච් හෙම නෙමේනෙ.”

ඇතැම් වන්දනාකාරියක් සැකයෙන් දෑස හකුලා ගනියි.

“අනේ නෑ මැඩම් තනිකර පුලුන්. අඩුගානේ කොට්ට ඇටයක්වත් නෑ. ඔලුව තියාගත්තම සැපට නින්ද යනව. බොරු නන් බලන්න ටිකක් අත ගාල...” සාගරිකා එක දිගට කියාගෙන යයි.

රතුමල් කිණිත්තකින් හැඩ වී රැළි පටියක් ද පුම්බාගෙන ඉදිමී ඉන්නා කොට්ටය අතගාන ගැහැනිය ගේ මුහුණ ආසා තණ්හාවෙන් පිරී යන හැටි සාගරිකා බලා ඉන්නේ වේගයෙන් ස්පන්දනය වන හදවත වැරෙන් උසුලා ගනිමිනි.

අන්තිමේදී පාට පාට නෝට්ටු ස්පර්ශ කරමින් සැනසුම් සුසුමක් හෙළන්නීය. දෙදරුවන් ගේ පතපොතට පෑන පැන්සලට දෙවේල සරි කරගන්නට මේ මුදල ප‍්‍රමාණවත් නොවන බව ඇත්ත ය.

එහෙත් තමා යමක් හරි හම්බු කරන බව තහවුරු වන කල උපදනා ජයග‍්‍රාහී සොම්නස කොතරම් ද... සාගරිකා ගේ මුව පොපියන්නාක් බඳු ය.

බීමතින් කළහ කරන සැමියා සමඟ හරි හරියට රණ්ඩු ඇල්ලීමට තරම් හයියක් ලැබෙන්නේ මේ පාට පාට කොළ නිසා ම නොවේ ද?

“පුලුන් ටිකක් දෙනවද?”

කළු කෙල්ලගේ බැගෑපත් හඬ සාගරිකාගේ සිතිවිලි සී සී කඩ විසුරුවයි. ඇගේ නොරොක් බැල්ම කෙල්ල ව තව තවත් හකුළා දමන සෙයකි.

“හරි ෂෝක්... අහුලලා අහුලලා කොන්ද කැඩෙන්ඩ එනවා. දීපල්ලකො පණ යනකල් අහුලපු පුලුන් ටික පිනට...”

සාගරිකාගේ රළු පරළු වදන් කෙල්ලගේ ලොකු ඇස් කඳුලින් පුරවාලයි.

“අනේ නැන්දෙ...”

“විකාර” රවමින් ගස්සමින් සාගරිකා ඉක්මනින් අඩි තැබුවාය.

එදින රැයෙහි උණු උණුවෙ බත බුදින අතරතුර ඇය සිය දෙදරුවන් හට කළු කෙල්ලගේ කතාව කියන්නට මුල පිරුවා ය.

“අද හරි වැඩේනෙ වුණේ...”

ඒ හරි වැඩේ කුමක්දැයි සවිස්තර ව දැන ගන්නට ඇගේ දියණියත් පුත‍්‍රයාත් මුවට ලද බත් පිඩ නොවිකා ඇස් කන් පාදා ගත්තෝ ය.

“අද උදේ මං පුලුන් අහුලනකොට...

සාගරිකා ගේ උගුරෙහි යමක් හිර වූ කලෙක මෙන් දැඩි අපහසුතාවයක් දැනිණ.

“අනේ නැන්දෙ.. මං පුලුන් ටිකක් නෙ ඉල්ලුවෙ... වෙන දෙයක් නෙමේනෙ... ඕකෙ ඉතිං කාටවත් කියන්න දෙයක් තියෙනවද නැන්දෙ... අනේ කියන්න එපා නැන්දෙ”

කළු කෙල්ල කඳුළු පිරි දෙඇසින් බැගෑපත් වූවා ය.

සාගරිකා පුදුමයට පත් වූවා ය. ඒ නොවැදගත්, කෙසඟ කෙල්ල මේ රැයෙහි ද තමාට කරදර කරන හැටි...!

“ඉතිං අම්මෙ...”

දියණිය රුකුල් දුන්නාය.

“කියන්නකො අම්මෙ... ඊට පස්සෙ මොකද වුණේ?” පුත‍්‍රයා ද නොඉවසිල්ලෙන් හඬ නැගුවේ ය. සාගරිකා ගේ සෙවණැල්ල හුණු ගෑ බිත්තියෙහි සලිත විය. චිමිනි ලාම්පුව පවා “කියන්න කියන්න” යි පෙරැත්ත කළේ ය.

“නෑ... මේ...” සාගරිකා අදිමදි කළාය.

“කියන්න එපා නැන්දෙ” යි අර කළු කෙල්ල පුන පුනා ආයාචනා කරන බැවිනි. ඇය ඉල්ලු කල පුලුන් ටිකක් නොදුන් තමාට දැන් සිදු ව ඇත්තේ කුමක් ද?

“ඇයි අම්මෙ...? මොකද වුණේ?” දියණියගේත් පුත‍්‍රයාගේත් කුහුල් පිරි ඇස් මඟහරිමින් සාගරිකා වතුර ටිකක් බීවාය.

“නෑ පුතේ... තව ඩිංගෙං මට නයා ගහනවා... තඩි නයෙක් කොට්ට ගහ යට...”

“අම්මෝ... පෙනේ පිප්පුවාද අම්මේ...?”

“නැතුව...” යි කී සාගරිකා කොලොම්බුව මතින් නැඟී සිටියාය.

“කාල බීල ඉවරනන් බුදියගනිල්ල. මං ඉතින් දැං හරිබරි ගැහෙන්ඩ එපැයි උඹලගෙ තාත්ත එක්ක ජල්ලි අල්ලන්ඩ.”

දෙදරුවන්ගේ මුහුණු දුක් අඳුරකින් කිළිටිව ගියේය.

ඒ දුටුවේ නම් සාගරිකාගේ දෑසට කඳුළු නැඟෙනවා නිසැක ය. 

පසු දා උදෑසන කඳුළු නැගුණේ සාගරිකා ගේ දෑසේ නොව අර කළු කෙල්ලගේ ලොකු ඇස්වලයි.

 ඉහවහා ගිය පී‍්‍රතියෙන් පුලුන් කැටිති අහුලමින් උරයට එබූ ඇය ගල් ගැසී ගියේ සාගරිකා ගේ රූ හසිනි.

”හා...අද කලින්ම ඇවිත් අහුලනව නේද ?” අඩක් පිරුණ උරය තුරුලු කර ගනිමින් කළු කෙල්ල අසරණ බැල්මක් හෙලුවා ය.

”හැමදාම මමයි මේ කොට්ට ගහේ පුලුන් ඇහින්දෙ ? උඹ කොහෙ ඉඳලද කඩා පාත් වුණේ මගේ බඩට ගහන්ඩ ?“

” නෑ..නැන්දෙ .....ම ....මම ...කෙල්ල ගොත ගැසුවා ය. ලා හිරු කිරණින් නැහැවෙමින් වුව ඇය අඳුර සහ ශෝකය ද බිය ද පෑවා ය.

” මෙන්න මෙහෙ දියං ...” සාගරිකා සිත් පිත් නැත්තියක මෙන් කෙල්ල ළයට තද කරගෙන හුන් උරය උදුරා ගන්නට තැත් කළාය.

” අ....අනේ එපා නැන්දෙ....එපා .....” කෙල්ල මාණික්‍යයක් මෙන් උරය රැක ගන්නට වෙහෙසුණාය.

”දීපිය කිව්වේ “ සාගරිකා යකින්නක මෙන් බෙරිහන් දුන්නාය.

” බෑ...බෑ.... අනේ එපා...” කළු කෙල්ල ගේ වේදනාත්මක හඬ කොට්ට ගස පවා කළඹාලන්නට සමත්විය. පොළෝ ගැබ පුරා විහිද ගිය මුල් ද හිස් අවකාශයේ පැතිර ගිය අතු ඉතිද, ඇත්තා වූ දැවැන්ත වෘක්ෂය මේ මනුස්ස දියණියන් අතර හබයට මැදිහත් වන්නට අකැමැත්තෙන්, තවුසෙකු වාගේ නිහඬ ව පසු විය. අතු ඉති නම් හීන් සුළඟින් නැටුවේ ය.

”දුවේ ...අරුණි ....අරුණියෝ ....”

ඒ නාඳුනන කටහඬ සාගරිකාගේ යක්‍ෂා වේශය අතුරුදහන් කර දැමුවේ ය.

කළු කෙල්ල මෙන්ම සාගරිකා ද නිසල වූ බැවින් පුලුන් උරය නිරුපද්‍රිතව කළු කෙල්ල ගේ කෙසඟ කයෙහි ඇලී ගැලී තිබුණේ ය.

” පුලුන් ඇහින්දනං වරෙංකො අඩිය ඉක්මන් කරල “

බිය සැක පිරුණු බැල්මක් සාගරිකා වෙත යොමු විය. ඉනික්බිති කළු කෙල්ල “මේ එනව අම්මේ ...”යි හඬ ගාමින් දිව ගියාය. කෝපයෙන් නොව කුතුහලයෙන් මැඩී ගිය සාගරිකා අඩිපාර දිගේ මඳක් දුර ගමන් කළාය.

අලුතින් එළි පෙහෙළි කළ බිම් කඩක පොල් අතු පැලක් අටවා තිබිණ. එය කඩිමුඩි යේ ඉදි කළ බව පෙනෙයි. දිගු ගවොමක් හැඳ සිටි ගැහැනියක අත ළදරුවෙක් හඩමින් සිටියේ ය.

”ඔච්චරද ?“ ගැහැනිය කෙල්ල ඔසවා ගෙන ආ උරය දෙස නොමනාපයෙන් බලමින් ඇහුවාය. කෙල්ල හිස සැලුවා පමණි.

”ඔය පොඩ්ඩ ඇතෑ බං කොට්ටයක් මහගන්ඩ . කොහෙද ඉතිං උඹේ කම්මැලිකම සේරටම වැඩියි නෙ. ඩිංගක් කොන්ද නමන්ඩ කැමති නෑ.

ඒකයි ඔය පොඩි එකාට ඉහ තියන්ඩ කොට්ටයක් මහගන්ඩ පුලුන් ටිකක් අහුලගෙන වරෙං කියල දැං කී දවසක් ඇරියද උඹ ...අනේ මේ ඔන්න ඕකත් විසි කරපං පැත්තකට“ ආපහු යන සාගරිකා ගේ දෙකෙනෙහි පමණක් නොව ළයෙහිද ඒ වචන ඇමිණී ගියේ ය.

”පොඩි එකාට කොට්ටයක් ....පොඩි එකාට කොට්ටයක්" යැයි එදින පුරා ම ඇයට ඇසිණ. ඇය කුඩා කොට්ට උරයක් මසා පුළුන් ඔබන්නට දවස ම මිඩංගු කළාය.

එක ම එක කොට්ට ඇටයක් වත් මේ කොට්ටය තුළට නොරිංගූ බව ඇයට සහතික ය.

දවසක වෙහෙස අවසන හුරුබුහුටි කොට්ටයක් ඇය අත කැළුම් දුන්නේ ය. එහි පුංචි බිම්මලත් හා පැටියාත් කොතෙක් අලංකාර වීද කිවහොත් තඩි කාර් එකකින් බට නෝනා මහත්තයා රුපියල් පන්සියයක් පවා දිගු කළාය. “ නෑ .... මේක විකුණන්නෙ නෑ...”

සාගරිකා ගේ ස්වරය දැඩි විය. නෝනා මහත්තයා ගේ පාට කළ ඇස් පුදුමයෙන් මහත් විය.

Nissanka Rajapaksa

unread,
Apr 24, 2024, 8:33:59 PMApr 24
to INDRAKA group
23
හමුවීමක්

(ඉන්දීය කෙටි කතාවක්)

පරිවර්තනය හේමන්ත රණවීර

ඇය ආවේ කෙලින් ම ජලාශයට පනින්නට වුණත්, ඇගේ සිතේ සිතිවිලි වැල නොකැඩී ගලා එමින් පැවැතිණි.

ඇයට තමා කාරය පදවාගෙන එනවිට දුටු දර්ශන සිතේ මැවෙන්නට විය. අතු සෙවිළි කළ කඩයක්, උකුළේ හොවාගත් දරුවකු නළවන ගැහැනියක්, බාල්කයක එල්ලා ඇති කෙසෙල්කැන් දෙකක්, ඒ අසල ළිපේ ගිනි පෙනෙල්ලකින් බීඩියක් පත්තු කරන මහලු මිනිසෙක්.

වැවේ ජලයේ කොළ පැහැති පාසි වර්ගයක් පැතිරී තිබේ. වැවට එහායින් පිහිටි උස්බිමේ සිට එළි දල්වාගෙන එන වාහනයක් වැවෙන් ඔබ්බට ඇදෙන වංගු සහිත පාරේ හැරී යනු පෙනේ.

සඳපහන යට නම නොදන්නා කුරුල්ලෙක් උගේ තියුණු හඬ නංවයි. වැව දෙසින් සීතල සුළඟක් හමා ඒ. ඈ සිටියොත් මේ සියල්ල අහන්නට දකින්නට පුළුවන.

ඉර ආයෙත් පායනු ඇත. මැරුණොත් නම් මේ කිසිවක් නැත.

වැව අසල පඳුරකට එහායින් කිසිවකු හිඳ සිටින වගක් ඇයට දැනිණ. තමා එන්න කලින් මෙතෙන්ට ආපු පිරිමියෙක් ද? නැත්නම් තමන් වාගෙ නවීන පන්නෙ ගෑනු කෙනෙක් ද? එතැනින් සිගරැට් දුමක සුවඳක් එයි.

ඇය පිට දිගට වැටී තිබූ කොණ්ඩය එකතු කර ලිහිල් ලෙස බැඳ ගත්තා ය. දියේ ගිලී මිය ගිය ඇගේ මුහුණ ඉදිමෙනු ඇත.

හැමෝම අගය කරන ඇගේ වම් කම්මුලේ උපන් ලපය ඉදිමුණු මුහුණේ නොපෙනී යනු ඇත. මුනින්තලා වී පාවෙන ඇගේ සිරුරේ කළු වරලස වැව් වතුරේ විසිරී යනු ඇත.

වෑ කණ්ඩියේ තණ උලන එළදෙනක් කම්මැලි විදිහට ඇවිදගෙන යයි. සිරුර ගැහැනියක ගේ ද පිරිමියකු ගේ දැයි දැනගැනීමටත් අපහසු වනු ඇත.

ඇය කොයිකටත් කළුපාට යටඇඳුම් දෙකක් ම ඇඳ ගෙන සිටී.

ඈ මැරෙන්න හිත හදාගත් මොහොත දැන් ඇයට හරියට ම සිහි කළ නො හැකි ය.

එය දිගු කලකට පෙර හෝ දිගු කලක් තිස්සේ ඇතිවූ කි‍්‍රයාවලියක් හේතුවෙන් වූවා විය හැකි ය. සැමියා එල්ල කළ කම්මුල් පාර නම් එතරම් දෙයක් නො වේ.

පිරිමියකු තමන් ආදරය කරන ගැහැනියකට පාරක් ගැහීම ගණන් ගත යුතු දෙයක් ද?

”ගිහිං මැරියන්, මැරියන් “මහා ගෝරනාඩු හඩින් කළ කෑගැසීම ඇයට දැනුණේ ඇගේ අභ්‍යන්තරය තුළින් ඇසෙන්නා වූ මහා හඬනැඟීමක් ලෙස ය.

 එවේලේ ඔහු ගේ ඇස්වල දිලිසීම මිනීමරුවකු ගේ බඳු විය. ඇයට කම්මුල් පහර එල්ල කිරීමෙන් පසු ව ඔහු ඇද වැටිණි. ඔහු සුදුමැලි ව පොළොව මත වැටී සිටියේ මිය ගියාක් මෙනි.

ඇය ගේ සවන් තුළ හඬ දෝංකාර නැඟුණේ ය. වැටී සිටි ඔහු ගේ ඝන උඩු රැවුල ගොරෝසු ඇහි බැම හා කෙස් ඇයට පෙනුණේ විකාරයක් මෙනි.

ඔවුන් ගේ පුතා අගනුවර පාසලක ඉගෙන ගන්නේ එහි බෝඩිමේ නැවතී සිටිමිනි. ඔහු පියාට ලැදි පියා ගේ ම අඩිපාරේ යෑමට සැරැසී සිටින්නෙකි.

තාත්තා මෙන් ටෙනිස් ශූරයකු වීමට දැන් සිට ම වෙර දරයි. මව ගැන මතකය ඔහු තුළින් ද ලෙහෙසියෙන්ම මැකී යනු ඇත.

ඔවුන’තර මෙවැනි ගැටුමක් ඇතිවීමට හේතුªවූයේ කුමක් ද? වරද කාගේ දැයි කාට කිය හැකි ද. ඉස්සර ඔහු ඇයට කොපමණ ආලය කළේ ද? ඔහු ඇය විවාහ කර ගත්තේ ඔහු ගේ මාපියන් ගේ විරුද්ධතා මැද ය.

විවාහ වී ඔහු සිය බූදලයෙන් අඩක් විකුණා ඇය එක්සත් ජනපදයට රැගෙන ගියේ ය. එහි දී ඇයට රඟපෑම ඉගෙන ගැනීමට විශාල මුදලක් ගෙවා එහි රංග ශිල්පායතනයකට ඇතුළත් කරන ලදී.

පළමු වැරැදි පියවර තැබුවේ කවුද? සියක් වාරයක් මේ ගැන සණ්ඩු කරගෙන ඇත. මුල් වැරැදීම දිගින් දිගට ම තවත් වැරැදි ගෙනාවේ ය.

ඇය නැති මිතුරු ඇසුරේ දී ඔහු කෙතරම් හඬනඟා සිනාසෙන්නේ ද? උඩු රැවුළට යටින් දත් දෙපෙළ ම පෙන්වා මහ හඩින් නගන ඒ සිනාවේ නිරායාස බවක් ඇත.

 ඒ සමාගමයේ ස්තී‍්‍රන් ඇයට දොස් නඟන බව ඇය දනී. ඇගේ වෛරී සිත ද ආදරය සේ ම දියමන්තියක් සේ පැහැදිලි ව පවිත‍්‍ර ව ඇයට දැනුණු අයුරු පිළිබඳ ව ඇයට ම පුදුම සිතිණි.

ඇය වරලස මුදා පසුපසට හෙළා ගත්තා ය. ඇය ගේ ඇස් සඳ එළියේ දිලිහිණි. තිස්පස් හැවිරිදි ඇගේ ඇස් යට යාන්තමින් කළු පැහැය මතුවෙමින් තිබිණි.

 අවුරුදු දෙකකින් වත් ඔහු ඇගේ සිරුරට අත තබා නොතිබිණි. වෛරී සිත නිසාදෝ ඇගේ සිරුරේ හැඩය හා ආකර්ෂණය එසේ ම රැකී තිබිණි.

 අනෙක් පිරිමින් ගේ ඇස් ඈ වෙත යොමු වන විදිහෙන් ඇය ඒ බව දැනගෙන සිටියා ය. ඒ අවස්ථාවල ඔවුන් ගේ ඇස් තවත් පිනවීමට අග පසඟ තවත් ටිකක් විවෘත විය.

මින් ඈ ලද සියුම් සතුට සැමියාට නුරුස්සන්නක් විය.

පඳුර අසබඩ සිටි තැනැත්තා උරමින් සිටි දුම්වැටිය නොනිවා ම විසිකර ඇත. එයින් නොනැවතී ම දුම් පිටවනු සඳ එළියෙන් පෙනේ.

ඇය තම බෑගයේ වූ සිගරැට් පැකට්ටුව අතට ගත්තා ය. ඒත් ඇය අත ගිනි පෙට්ටියක් නොවිනි. ඇය ගේ දෑත් නිදිගත් කුරුල්ලන් යුගලක් සේ උකුළ මත නිශ්චල ව ඇත.

මේ තැනැත්තා ගෙන් ගිනිපෙට්ටියක් ඉල්ලීම සුදුසු දැයි ඇය කල්පනා කළා ය. දිවි නසාගැනීමේ සිතුවිල්ල තේරුමක් නැති දෙයකැ යි හදිසියේ ඇයට සිතුණේ ය.

ඒ සිතිවිල්ල හදිසියේ මතුවුණ බව දැනුණත් දිගට ම යටින් පවතින්නට ඇතැ යි ද ඈට කල්පනා විය.

ඈ තාම නිශ්චල ව සිටී. ඈත වෑකණ්ඩිය උඩින් එන පාරේ වාහනයක් හරවා යනු ඇයට පෙනිණි. කුරුල්ලා ගේ තියුණු නාදය නැවතත් ඇසුණේ ය.

 වැවේ දිය සඳ පහනේ කාන්තිමත් ව බබළයි. ඇය කාරයේ එද්දී දුටු දර්ශන ආයෙත් මැවී පෙනේ. ඇය කුඩා කල ගසක කොළයක් කඩා අඹරා එහි සුවඳ බැලූ හැටි ඇයට මතක් විය.

හැඟීමකින් තොර ව ඇගේ ඇස් ඉදිරිපිට පෙරහරක් සේ දර්ශන මැවේ. ජීවිතය හා මරණය යන දෙකේ ම තේරුමක් නැත.

අමුත්තා ගෙන් ගිනි පෙට්ටියක් ඉල්ලීමට ඇයට සිතේ. ඒත් එය නැතිව ම බැරි නැත. ඈ සඳඑළියේ හිස මඳක් පැත්තකට නවාගෙන අත් උකුළ මත තබාගෙන නිශ්චල ව සිටී.

 මුදා ඇති වරලස පසුපස වසාගෙන ඇත. ඇගේ වම් පයේ මාපටැඟිල්ල පස තුළ ඇති ගල්කැටයක් මත කරකැවේ.

කුඩා කොණ්ඩය කරල් දෙකකට ගොතා සිටින දස හැවිරිදි වියේ දැරිය. ඇගේ කොණ්ඩ කරල්වල ගැට ගසා ඇති රතු පීත්ත පටි, රතු ගවුමට හා රතු සපත්තුවලට මනාව ගැලැපෙ.

 ඈ ඒ දවස්වල හැමෝ ගෙ ම වඩා ම සිත්ගත් දැරිය ව සිටි බව මතක් වන විටත් දැන් ඇයට පුදුම ය. උපන් ලපයෙන් යුතු කම්මුල කවුරුත් ආදරයෙන් කෙනිත්තූහ.

ඒත් ඒ කුඩා වියේ දී වත් ඇයට කා ගැනවත් විශ්වාස තැබීමට පුළුවන් වූයේ නැත. ඈ ජීවත්වූවා කියා කොහොම ද හිතා ගන්නේ.

ඈ දැරූ නම? ඇත්තට ම ඒ ඇය ම ද? ජීවිතේ පසුගිය කාලේ සිදුවූ සිදුවීම්, ඒවා සිදුවුණේ තමාට ද? ඈට කිසිවක් පැහැදිලි නැත.

ඈ සිය පියා සමඟ කතිර ඔංචිල්ලාවේ ගිය දිනය මතක් වේ. පියා ඔහු ගේ උත්සව ඇඳුම දෝතිය සහ සේද ජුබ්බාව හැඳ සිටියේ ය. එදින ඇය කතිර ඔංචිල්ලාවකට පා තැබූ පළමු දිනය වූයෙන් කුතුහලයෙන් මෙන් ම බියෙන් ද වෙළී සිටියා ය.

පියා තම වැඩිහිටි තත්ත්වය ද නොසලකා ඇය ගේ අසුනේ වාඩිවී සිටියේ ය. රෝදය කැරකී තමා සිටි අසුන ඉහළට යන විට ඇගේ බිය ගුණ කිරීමේ චක්කරයෙන් මෙන් වැඩි වූයෙන් ඈ පියා ගේ ඇඟේ තදින් එල්ලී සිටියා ය.

 තමා මිය යතැ යි ඇයට සිතින. ඔංචිල්ලාව නවත්වන්නැ යි ඇය කෑගැසූවත් පියා සිනාසෙමින් ඈ ළඟින් සිටියේ ය. පහළින් ආ සුළඟින් ගවුම පිම්බී ගිය අතර සීතල සුළඟ කලවා අතරින් ඇදී ගියේ ය.

දැන් වුණත් මතක් වන විට අතුල් තෙත් කරවන මේ අවස්ථාව දැන් සිතට නැඟුණේ ඇයි? ඇයට එය සිතා ගත නො හැකි ය. කලින් පැවැති ශුන්‍ය සිත නැවත මතුකර ගැනීමට ඇය වෑයම් කළා ය.

වයසක පියා ගේ කල්පනාව දැන් හොඳ නැත. ඔහු ඉස්සර වගේ ම තවමත් ඇයට ආදරෙයි ද යන හැඟීම පවා හොයාගත නො හැකි ය. සිය පුතාට තමා සතිපතා යවන ලියුම නොලැබෙනු ඇත.

ඒත් එය එතරම් ගණන් ගත යුතු දෙයක් නොවනු ඇත. බොම්බායේ සිටින සිය සොහොයුරිය ගේ දියණිය ගේ උපන්දිනයට යැවීමට මිලදී ගත් රිදී පා සලඹ දමා ඇති පෙට්ටිය මේසය මත ඇත.

පිළිතුරු යැවීමට ඇති ලිපි කීපයකුත් ඒ අතර වේ. පවුල් සංවිධාන සංගමයේ කාරක සභා රැස්වීමක ආරාධනාවක් රුක්වවන්නන් ගේ සමිතියේ රැස්වීමක වාර්තා, අශ්වාරෝහක සමිතියේ ලිපියක් ද එහි වේ. ඔක්කොම වැඩක් නැති කෙහෙල්මල්.

ඇය ගිනිපෙට්ටිය ඉල්ලා ගත යුතුªය. ඔහු කවුරු ද? දුම්පානය කරන ස්ති‍්‍රයක් පිළිබඳ ඔහු කුමක් හිතා ද? ඈ මඳක් පසු බාමින් ඔහු වෙත ගියා ය.

ඔහුට ඇගේ පසුබෑම වැටහිණි. “මම ඔබව කලින් දැක තිබෙනවා, උදේ අශ්වය පිට නැඟල යන්නෙ ඔයා නේද? ඔයා ඉංගී‍්‍රසි නාට්‍යවල රඟපානව මම දැකල තියෙනව“ ගිනි පෙට්ටිය දෙන ගමන් ඔහු කී ය.

කාන්තාවක තනි ව ම මේ නගරයෙන් ඈත පාළු වැවේ පිටියේ සිටීම ඔහුට අසාමාන්‍ය දෙයක් නුවූවා සේ ය. “ස්තුතියි” කියූ ඇය ඔහු විසින් අසලින් පාදා දුන් ඉඩෙහි වාඩි වූවා ය. ඔහු ඇය ගෙන් කතාවක් බලාපොරොත්තු වන්නේ නැත.

ඔහුගේ නිහඬතාව සැලැසුම් සහගත වූවක් නොවන පාට ය. ඔහු අනෙක් පුද්ගලයා ගේ වතගොත නොහොයා කතා කළ හැකි කෙනකු මෙනි.

ඔහු ඇය දන්නා බැවින් අලුතෙන් හඳුන්වාදීමක් අවශ්‍ය නොවීම එක් අතකින් ඉස්පාසුවකි. අනෙක් අතට ඇගේ අඥතභාවය නැතිවීම පිළිබඳව කනගාටුවක් ද ඇති විය.

 ඇය කලින් සිටි මනෝභාවයට පිවිසීමට තැත් කළත් සාර්ථක වූයේ නැත. ඈ නිහඬතාව බිඳිමින් කතා කළා ය.

“මේක පුංචි ලෝකයක්නෙ”

ඔහු මඳක් සිනාසුණා මිස කිසිවක් කීවේ නැත. ඈ සැහැල්ලු කතාවට සුදුසු මානසික තලයක නොමැති බව ඔහු තේරුම් ගත්තා සේ ය.

ඈ ජලාශය ළඟට ආවේ දිවි තොර කරගැනීමට බව ඔහුට පැවැසීමට පවා ඈට අපහසුතාවක් නො වී ය.

 ඔහුට ඒ බව කිව්වත් නොකිව්වත් වෙනසක් නැතැ යි සිතූ ඇය දුම් උගුරක් ඉරුවා ය. සඳපහන් කුරුල්ලා ගේ තියුණු හඩින් තිගැස්සී ගිය දෙදෙනා ම එක විට එකෙකා ගේ මුහුණු බැලූහ.

“මිස්” ඔහු කතාව ඇරඹුවත් ඈ කතාවට උනන්දු නොවෙති යි සිතුණෙන් ඉදිරියට ගෙන ගියේ නැත. ඇයට ඔහු කතා කරවීමට ඕනෑ විය. නිශ්ශබ්දතාවයේ ගිලී යෑමට ඉඩ නොදිය යුතු ය.

“මට ශයිලී කියල කතා කරන්න”

කෙස් කලඹ අතින් එකතුකර උරහිස දිගේ පහළට වැටෙන්නට සැලැස්වූ ඇය, ඔහු දෙසට අඩක් හැරුණු මුහුණේ සිනහවක් රඳවාගෙන ඔහු කතා කරන තුරු බලා හිඳී. සැමියා ළඟින් මේ ලෙස හිඳගෙන අව්‍යාජ සිනාවක් මුවට නංවාගෙන සිටියේ වසර කීයකට පෙර ද? සඳ එළිය විසින් මුදු කරන ලද ඔහු ගේ වටකුරු මුහුණ වෙත ඇගේ දෑස් යොමු ව ඇත.

“ශයිලී මේ වෙන කොට මගේ බිරිය මිය ගිහිං ඇති” ඔහු මේ වචනවලට ඇගෙන් ප‍්‍රතිචාරයක් බලාපොරොත්තු වූයේ නැත. කිසි ම අනුකම්පාවක් පැතු වේ ද නැත. විමතියට පත් ඇය උනන්දුවෙන් සවන් දුන්නා ය.

“පොලිසිය පරීක්ෂණයට ආවහම මොනවද කියන්නෙ කියලයි මම හිත හිතා උන්නෙ, ඔව්, අතීතයේ තිබුණු ආදරය මැකී ගිහිං ඒක කාගෙ වරදද කියන්න බෑ, කාගෙ වරද වුණත් දැන් කරන්න දෙයක් නෑ.

ආදරය පලා ගියහම දෙන්න බැඳිල ඉන්න බැම්ම නිකම්ම කැඩිල යනවා. එහෙම උනහම මේ වැවත් කඳුයායත් අහසත් නැතිවෙලා යනවා. ඔයාට හිතෙයි මට පිස්සු කියල. ශයිලී, අර කුරුල්ල කෑගහපුවම මාව තිගැස්සුණා.

ඔයාටත් එහෙම වුණා. ඒක පුදුමාකාර නැද්ද? ඔයා ඔය විදිහට කොණ්ඩෙ උරහිස දිගට කඩාගෙන ඔහොම හිනාවෙන කොට මට හිතෙනව ඇයි මගෙ බිරියට බැරි ඔය විදිහට ඉඳගෙන ඔව්වගෙ හිනාවෙන්න කියල. මම ළඟදි ඉඳල ඔව්ව ගැන හිතන එකත් නැවැත්තුව.

එහෙම නැත්නම් චිත‍්‍ර ශිල්පියෙක් හැටියට ජීවත් වෙන එකත් මට කරන්න බැරුව යනව.

අපි විවාහ වුණු අලුත නිදාගන්න උනේ ගල් වාගෙ මෙට්ටෙක. මම හුඟක් දුප්පත් උනත් මගෙ ඔලුව බලාපොරොත්තුවලින් පිරිල තිබුණා. ඒ සියල්ල ඉවරයි. මම දන්නෑ ඒක උනේ කොහොමද කියල.

ඒ දවස්වල තිබුණු ලැජ්ජාව, ඊර්ෂ්‍යාව, භය වගේම හේතුවක් නොමැතිව සතුටින් සිටීමේ හැකියාවත් නැති වුණා. අපිට දේවල් ලැබෙන්න ලැබෙන්න ඇයට තව තව ඕනෑ වුණා. එහෙම කිව්වට මමත් ඒ ගැන නිර්දෝෂ නෑ.

මට අද එයාව මරන්න තිබුණා. ඒක පටන්ගත්ත හැටි මට දැන් අමතකයි. මොකද ඔයා හිතන්නෙ. හරි දරුණුයි නේද? එයා කිව්ව එයා මැරෙනවා කියල. මම කිව්ව ඉතිං මැරියන් කියල. එහෙම කියල ඈව තල්ලු කළා.

“ගිහිං මැරියන්” මම කෑගැහැව්වා. එයා කාමරේ දොර වහගත්තා. මට ඒවෙලේ ගාණක් තිබුණෙ නෑ. මම දොරේ පැළිච්ච තැනකින් එබී බලනවා ඇය දුටුවා. ඈ වහලේ බාල්කයට කඹයක් දමා පුටුවක් ලෑස්ති කරනවා මට පෙනුණා.

මට සහතිකයි ඈ දොර දෙස බලන් හිටියා. මට කනගාටු මගෙ දරුවො දෙන්න යාළුවොත් එක්ක සෙල්ලම් කරල ගෙදර ආවහම මේක දැකල කොහොමද වාවන්නෙ කියල. මට පුදුම එයාට දරුවො ගැන ගාණක් නැති එක ගැන.

 එයා දරුවන්ටයි ගෙදෙට්ටයි මොන තරම් ඇල්මක් තිබුණ කෙනෙක්ද? මගෙ ලෝකය මුළුමනින් වෙනස් වුණේ ඒ වගේ කෙනෙකුට දිවි නහගන්න ඕනැ උනහමයි. මෙතෙන්ට පයින් එන්න මට පැය දෙකක් විතර යන්න ඇති. මම තනියම පයින් ඇවිදගෙන එන කොට මට හිතුණෙ මේ එන්නෙ මම නෙමෙයි කියල.

දැන් ඇගේ සිරුර බාල්කයේ වැනි වැනි එල්ලෙනව ඇති. ළමයි මහ හඩින් කෑගහනවා ඇති. පොලිසිය එතනට ඇවිල්ල කරුණු සටහන් කර ගන්නවත් ඇති. අම්මෝ මේ වෙන කොට අපේ ගේ ඉස්සරහ සෙනඟ පිරිල ඇති. මට හිතෙන්නෙ මේ ඔක්කොම උනේ මට නෙමෙයි වෙන කෙනෙකුට කියලයි.

විවාහ වෙන්න ඉස්සෙල්ල අපේ ජීවිත කතාව අහන්නකො. එතකොට එයාට දහ අටයි. මට එයාගෙ ගමට ගිහිල්ල දවස් හතරක් ඉන්න වුණා. ඒ කැලෑබද ගමේ එකම නිවස ඔවුන්ගෙ නිවසයි. වටේටම රබර් වතුයාය.

ඉදිරියෙන් හා පසුපසින් කඳුපේළියකින් වටවෙලා. අපි දර අහුලන්න ගියේ එහාටයි. ඈ ළිඳෙන් වතුර ඇද්දා, එළවළු කැපුවා, ඇඳුම් සේදුවා. උඩ පැන පැන ඇඳුම් වේළෙන්න වැලට දැම්මා. එයා හැම දෙයක්ම කළේ නට නටා.

අපි කිසිම හේතුවක් නැතුව සිනාවුණා. මං කැමැති නැති මාළු පිණි මොනවද කැමැති මොනවටද කියල අම්මට කිව්වා. මට නාන්න වතුර පුරවලා දුන්නා. අම්මට හොරෙන් මං නාන කොට ඇවිල්ලා පිට ඇතිල්ලුවා.

රෑට මං මුත‍්‍රා කරන්න නැගිට්ටහම ඇයත් ඇහැරල කියල දැනෙන්න කැස්සක් දැම්මා. රෑට අඳුර වැටුණහම ඈ හරක්ගාලට ගියේ මාවත් එක්කගෙනයි. එතන අපි එකිනෙකාගෙ ඇඟේ ගෑවි ගෑවි හිටියා. අනේ ඒ කෙල්ලද මේ මගේ බිරිය වෙලා ඉන්නෙ කියල මටම පුදුමයි.

එයාට සීයා කෙනෙක් ඉඳල තියෙනවා, එයා තමයි රබර් හිටවන්න කැලෑවෙ ගස් බිම දාලා තියෙන්නෙ. මැරිල අවුරුදු පහක් ගිහිං වුණත් කව්රුත් ඔහු ගැන කතා කළා. එයා පෙම්පත් ලියන්න දස්ස පේ‍්‍රමවන්තයෙක්.

එයා මැරෙනකම්ම පෙම්පත් ලියල තියෙනවා. ඒ හැම එකකම පිටපතක් එයා ළඟ තියාගෙන තිබුණා. අසභ්‍ය වචන පිරිල තිබුණා. පෙම්පත්වල ඔවුන් කරපු කියපු දේ, නැවත කරන්නට ඉන්න දේ රසවත් කරල ලියල තිබුණා.

මේ පෙම්පත් ලියල තිබුණෙ විවිධාකාර පෙම්වතියන්ට. පෙම්වතියන්ගෙ හැටි සුබා අනුව පෙම්පත් වෙනස් වුණා. සමහරක් පෙම්පත්වල හදවත්, සමනළයන්, යුවතියන් ඇඳ තිබුණා. ඇය ඒ නිවසේ අට්ටාලයට මාත් එක්ක නැගලා මේ පෙම්පත් තිබුණු පෙට්ටිය ඇදලා අරගෙන හිනාවේවී කියනවා.

ඒ සීයගෙ බිරිය, ආච්චි සමහරදාට අපි පෙම්පත් රස විඳිනව බලා ඉන්නවා. අන්තිමේදී තම සැමියගෙ දඩාවතේ යෑම ඈ නවත්ත ගත් හැටි ආඩම්බරෙන් කියනවා.

ශයිලී, මට තේරෙන්නෙ නෑ ඔයාගෙ මූණ දැක්කහම මට මේ ඔක්කොම මතක් වෙන්නෙ ඇයි කියල. මගේ බිරිය ඔයා වගේ නෙමෙයි. එයාට මුළු ලෝකෙම එයාගෙ ගෙදර තමයි. එයාට ලස්සනට සිංදු කියන්න පුළුවන්කම තිබුණා. ඒත් පස්සෙ එයා ඒකත් නැවැත්තුවා.

ඒ ගොල්ලන්ගෙ ගෙදර එළුවෙක් හිටියා, ඌ නොකන දෙයක් නෑ. කොහුලනුවලින් වියපු පාපිස්සත් කනවා. ඇය හෝදල දාල තිබුණු මගේ යට ඇඳුමක් දවසක් ඌ කෑවා. ඇය බඩ අල්ලාගෙන සිනාසුණා. මම බැරෑරුම්ව බලන විටත් ඇගේ සිනාව අඩුවුණේ නෑ. මමත් ඒ පාර ඒ සිනාවට එක්වුණා. මේ සිද්ධිය මතක් වෙන ගානෙ අවුරුදු දෙක තුනක් අපි හිනාවුණා.

එයාට හිතන්න වත් බෑ මට මෙහෙම ඔබ ළඟ ඉඳගෙන මේ වගෙ කතා කරන්න පුළුවන් කියල. මගෙ කේන්තිය කොච්චර වැඩිවෙලා තිබුණද කියනව නම් ඇත්තට මට වත් හිතුණෙ නෑ ඔබ මෙහෙම මුණ ගැහෙන තුරු.”

මෙතෙක් වේලා එක දිගට කතා කළ ඔහු කතාව නැවැත්වූයේ ය.

ඇය සෙමින් තම අත ඔහු ගේ අත මත තැබුවා ය. ඈට ම පුදුම සහගත බවක් දැනිණ. වැහිබර වලාකුළු සඳේ දීප්තිය බොඳ කරමින් ගමන් කරයි. සිහින් සුළඟක් හමා එයි.

“එන්න අපි යමු” ඇය කීවා ය. ඔහු ඇය පසුපසින් මෝටර් රිය වෙත ආවේ ය. ඔහු ගේ ලිපිනය ඉල්ලාගත් ඇය පසුපස අසුනේ වූ විස්කි ප්ලාස්කුව ගෙන ඔහු වෙත දුන්නා ය. ඔහු ලොකු උගුරක් බී ප්ලාස්කුව ඇය වෙත ආපසු දුන්නේ ය. එහි පියන වසා පැත්තකින් තැබූ ඇය තවත් ඕනැ නම් ගන්නැ යි කියා වාහනය පණ ගැන්වූවා ය.

“මං හිතන් නෑ ඔබ ගේ බිරිය දිවි නහ ගෙන ඇති කියලා” ඈ කීවා ය.

“වෙනසක් වෙන්න විදිහක් නෑ” ඔහු සෙමින් මිමිණුවේ ය. “වෙන්න පුළුවන්” කියා කීමට සිතුණත් ඔහු තොල් තදකර ගෙන සිටි විලාසය දුටුවිට එය පිට කළේ නැත.

ඇය ඔහු ගේ නිවස ඉදිරිපිට මෝටර් රිය නැවැත්තුවා ය. ඔහු ගේ දරුවන් පොත් පෙරළාගෙන පාඩම් කරන අයුරු ඔවුනට පෙනිණ. ඔහු ඇගේ අත මිරිකුවේ ය. ඇය ද ඔහු ගේ අත මිරිකා “සුබ රාති‍්‍රයක්” යයි කීවා ය.

https://archives.silumina.lk/punkalasa/20080928/_art.asp?fn=ar0809283


Nissanka Rajapaksa

unread,
Apr 25, 2024, 7:23:13 PMApr 25
to INDRAKA group
24
වන්දනාවක් ගැන සටහනක් 

ඇරැව්වල නන්දිමිත‍්‍ර

වේලාව රාත්‍රී දහයට පමණ විය. වන්දනාකරුවෝ බරණැස මූලගන්ධකුටි විහාරය අසල විශ‍්‍රාම ශාලාවේ වැතිර සිටියහ.

මේ වනවිට ඔවුන් ගෙන් සමහරුන්ට නින්ද ගොස් තිබිණ. සෙසු අය ද සිටියේ දැඩි විඩාබර ස්වභාවයෙනි. වන්දනා ගමන ආරම්භ වී දින විස්සක් පමණ ගත වී තිබිණ.

ඔවුහු චෙන්නායි සිට දිල්ලිය දක්වා දුම්රියෙන් පැමිණියහ. එහි සිට ගමන් ගන්නට සිදු වූයේ බසයෙනි.

අනුරාධපුර වට වන්දනාවේ ගියා සේ ආසන්නයේ පිහිටි වෙහෙර විහාර රැසක් දැක ගන්නට නො ලැබිණ. එක ස්ථානයක සිට තවත් ස්ථානයකට ළඟාවීමට සැතපුම් සියයකට වැඩිදුරක් ගමන් කළ යුතු ය.

බසය දිවා රාති‍්‍ර නොබලා දිගට ම ඉදිරියට ඇදී යයි. පරිසරය කර්කශය. එහෙත් දක්නට ලැබෙන හැම බිම් කඩක් ම පාහේ වගා කර ඇත.

 එමඟින් මතු වන්නේ නෙත නළවන නිල්ලකි. අග‍්‍රා නුවර ටජ්මහල්, රතු බලකොටුව, සංකස්ස, කපිල වස්තු, විශාල මහනුවර, රජගහ නුවර, ලුම්බිනී, කුසිනාරා ආදී වූ විවිධ ස්ථාන පසුකරමින් බස් රථය ගමන් ගත්තේ ය.

බසය අන්තිමට බරණැස ඉසිපතනයට ළඟා විය. වන්දනාකරුවෝ බිමට බටහ.

බසය සිහින් හඬක් නඟාගෙන ඉදිරියට ඇදී ගියේ ‘ඉතින් ඔබ සැම සමඟ මගේ ඇසුරක් නැහැ’ යැයි පවසන්නා සේ ය.

වන්දනා නඩයේ නායකයා වන්දනා කරුවන්ට දී තිබුණු සැපපහසුකම් පොරොන්දු වැඩි ප‍්‍රමාණයක් මේ වන විට කඩා බිඳ දමා තිබිණ.

සියලු දෙයින් සම්පූර්ණ හෝටල්වල නවාතැන් පහසුකම්

ප‍්‍රණීත ආහාර පාන

සියලු වෛද්‍ය පහසුකම්

මේ ආදි නොයෙකුත් කරුණු, පොරොන්දු ලැයිස්තුවට ඇතුළත් විය. එහෙත් පහසුකම්වල තත්ත්වය වන්දනාකරුවන්ට මැනැවින් වැටහෙන්නට වූයේ ඉන්දියාවට පැමිණ ගමන් ආරම්භ කිරීමෙන් පසු ය. මේ පහසුකම් සැලැසීම කෙසේ වෙතත් වන්දනාකරුවන් ගේ හිත සැනසෙන ආකාරයෙන් ව්‍යාජ කතාවක යෙදීමට නඩ නායකයා හැම විට ම උත්සාහ ගත්තේ ය.

“අපි අනුරාධපුරේ වන්දනාවේ ගියාම සැප පහසුකම් හොයනවද? මහමෙවුනා උයනෙ ගහක් යට උයාගෙන කාලා, ගහක් යට නිදාගෙන අපි ඒ ගමන යන්නේ මොන තරම් සතුටෙන් ද? අපි කවුරුත් එක්ක මේ ගමනත් අන්න එහෙම සතුටෙන් යමු.

අපි මේ රටකින් රටකට ඇවිදිල්ලා ඉන්නෙ. පොඩි පොඩි අඩුපාඩු වෙන්න පුළුවන්.

 ඒවා ගැන හිතන්න එපා. හිතේ ශ‍්‍රද්ධාව නැති කර ගන්නත් එපා.

මමත් මේ කටයුත්ත කරන්නේ පිනක් සිද්ධ කර ගන්න චේතනාවෙන් මිසක් ලාභයක් ලබන බලාපොරොත්තුවෙන් නෙවෙයි. ඇත්තම කියනවා නම් මම තරම් අඩු ගාණකට වෙන කවුරුවත් දඹදිව වන්දනාවට වන්දනාකාරයෝ එක්ක ගෙන එන්නෙ නැහැ.”

වන්දනා නඩයේ වැඩි දෙනෙක් ජීවිතයේ සන්ධ්‍යා සමය ගත කරන්නෝ ය. සමහර වන්දනාකරුවන් ගේ හිත්වල නඩ නායකයා ගේ ප‍්‍රකාශ ගැන ප‍්‍රසාදයක් නො වී ය.

එහෙත් ඔවුහු කිසිවෙක් විරුද්ධ ව කතා කරන්නට ඉදිරිපත් නො වූ හ. නඩ නායකයා ගේ බිරිය ද ගමනට සම්බන්ධ වී සිටියා ය. වැඩ කරන ආකාරය අනුව ඇය මේ ගමනට පලපුරුදුකාරියක බව මනාව පෙනිණ.

වන්දනාකරුවන් ගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා නඩ නායකයා, ඔහුගේ බිරිය, හැරුණු විට සිටියේ ඉන්දියාවේ චෙන්නායි නගරයෙන් එක් කරගත් තව එක් සේවකයකු පමණි.

කෑම වේලාව ළඟා වූ විට බසය පාර අයිනේ ගහක් යට නතර කරයි.

 නඩ නායකයාත් සේවකයාත් බඩු හා වළන් ආදිය බසයෙන් බාති. සේවකයා ගේ සහය ඇති ව සියලු ඉහුම් පිහුම් කටයුතු කැරෙනුයේ බිරිය විසිනි.

නිතරම පිළියෙළ වන්නේ බත්, පරිප්පු හොද්දක් හා පොල් සම්බෝලයකි. වන්දනාකරුවෝ හාමත මකා ගැනීමට අවශ්‍ය නිසා අප්පිරියාවෙන් වුව ඉන් කටක් දෙකක් ගිල දැමූහ. ඇතැම් දිනයන්හි රාත්‍රී කාලයේ දී පවා බසය නතර නොකර ගමනේ යෙදෙයි.

“මේ විධියට රෑටත් බස් එක යවන එකත් මේ මිනිස්සුන්ගේ උප්පරවැට්ටියක්. නවාතැනක නතර වුණොත් සෑහෙන ගාණක් ගෙවන්න සිද්ධ වෙනවා.

ඊට වඩා මෙහෙම කරන එක ලාබයි. වරින් වර නඩ අරගෙන ඇවිදිල්ලා, බස් එකේ ඩයිවරුත් අල්ලාගෙන ඒ මිනිස්සු මේවා ගාණට හදාගෙන තියෙන්නෙ.”

වන්දනාකරුවෝ දෙතුන් දෙනෙක් මෙසේ මිමිණූහ. හිරු උදා වූ පසු බසය බොහෝවිට නතර කරන්නේ තෙල් පිරවුම්හලක් අසල ය.

නඩ නායකයා රියැදුරා සමඟ ගොස් කතා බහ කර එහි පසෙක සවිකර තිබෙන ජල නළයකින් වතුර ටිකක් ලබාගැනීමට පිළිවෙළක් යොදා ගනියි. එහි ඇති වැසිකිලිය ද ටික වේලාවකට ප‍්‍රයෝජනයට ගැනීමට අවසර ගනියි.

“කවුරුත් එක්ක එහෙම නම් මුහුණ කට සෝදා ගෙන දොට්ට පිලට ගිහිල්ලා එන්න.” නඩ නායකයා පවසයි.

ඔහු ගේ බිරිය සේවකයා ගේ සහය ඇති ව පාර අයිනේ උදෑසන ආහාර පිළියෙළ කිරීමේ කාර්යය කරගෙන යයි.

ඇතැම් ස්ථානවලට ගිය විට කිසිම තේරුමක් නැති ව දින දෙක තුන නතර වී සිටින අවස්ථා ද වෙයි. නඩ නායකයාට එයට උත්තරයක් තිබේ.

“මම වියදම් කරගෙන මේ ස්ථානවල දෙවසක් දෙකක් නතර වෙන්නෙ අපේ වන්දනා කාරයන්ට සිල් සමාදන් වෙලා භාවනා කටයුතුවල යෙදෙන්න අවස්ථාවක් ලබා දෙන්න.”

විශ‍්‍රාමලත් පාසල් ගුරුවරයකු වූ සිරිමෙවන් ද මේ වන්දනා ගමනට සම්බන්ධ වී සිටියේ ය. සිදුවන සියල්ල දෙස ඔහු බලා සිටියේ කල්පනාකාරී ව ය. වරින් වර සිතෙහි අප‍්‍රසන්න හැඟීම් මතු වන්නට විය.

“මේ මිනිහයි ගෑනියි එක්ක එකතුවෙලා කරන තක්කඩි වැඩේ ගැන මට නම් හිතෙනවා හොඳවයින් දෙකක් කතා කරන්න.” වන්දනා ගමනේ දී මිතුරකු බවට පත් ව සිටි මැදිවියේ අයකු සමඟ සිරිමෙවන් පැවැසී ය.

“අපි රටකින් රටකට ඇවිදිල්ලා ඉන්න මේ වේලාවේ කතා ඇති කර ගන්නෙ මොකටද? අපි මේ සේරම අපහසුකම් ඉවසාගෙන කොහොම හරි වන්දනා කටයුතු ටික කර ගන්න බලමු. එහෙම නූනොත් අපි ආපු මේ වන්දනා ගමනෙනුත් පලක් නැතුව යනවා.” මිතුරා කතා කරන්නට තැත් කළේ ගින්නට පිදුරු නොදමන අයුරිනි.

මිතුරා ගේ කතාවේ කිසියම් සත්‍යයක් ඇති බව සිරිමෙවන්ට හැඟිණ. දඹදිව වන්දනාවේ යන්නට ඇත්නම් හොඳ ය යන අදහස දිගු කලක සිට සිරිමෙවන් ගේ සිතෙහි රැඳී තිබිණ.

 මහා පරිනිර්වාණ සූත‍්‍රය කියවන මොහොතක් පාසා ඒ බලාපොරොත්තුව තවත් වර්ධනය වූවා සේ ය. එහි එන බුදු හිමියන් ගේ මෙවදන් ඔහුට හොඳින් මතක තිබේ.

“ආනන්ද, සැදැහැවත් කුලපුත‍්‍රයාට දැක්මට සුදුසු වූ සංවේග කටයුතු තැන් සතරකි. ඒ සතර කවරේ ද යත්:

“ආනන්ද, තථාගතයන් උපන් තැන. මෙහි තථාගතයෝ උපන්හ යි සැදැහැවත් කුලපුත‍්‍රයාට දැක්මට සුදුසු, සංවේග කටයුතු තැනකි.

ආනන්ද, තථාගතයන් බුදු වූ තැන. මෙහි තථාගතයෝ අනුත්තර වූ සම්‍යයක් සම්බෝධියට පත් වූහ යි සැදැහැවත් කුල පුත‍්‍රයාට දැක්මට සුදුසු, සංවේග කටයුතු තැනකි.

ආනන්ද, බුදුන් දම්සක් පැවැත් වූ තැන. මෙහි තථාගතයන් විසින් අනුත්තර වූ ධර්ම චක‍්‍රය පවත්වන ලදැ යි සැදැවත් කුල පුත‍්‍රයාට දැක්මට සුදුසු, සංවේග කටයුතු තැනකි.

ආනන්ද, බුදුන් පිරිනිවන් පෑ තැන. මෙහි තථාගතයන් අනුපාදිසේස නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑහ යි සැදැහැවත් කුල පුත‍්‍රයාට දැක්මට සුදුසු, සංවේග කටයුතු තැනකි.”

සිතෙහි බලාපොරොත්තු තිබුණ ද සිරිමෙවන්ට සේවයෙන් විශ‍්‍රාම යන තුරු දඹදිව වන්දනාවේ යෑමට අවස්ථාව නොලැබිණ.

ඔහුට පුත්තු දෙදෙනෙක් හා දුවක් සිටියහ. ගුරු වැටුප හැරුණු විට ඔහුට අන් කිසි ආදායම් මාර්ගයක් නො වී ය. ලැබෙන වැටුපෙන් පවුලේ අය ගේ අවශ්‍යතා සපුරා ගත්තේ ඉතා අපහසුවෙනි.

සියලු නැති බැරිකම් විඳ දරාගෙන ජීවිතයට මුහුණ දෙන්නට වැර දරන කාන්තාවක බිරිය වශයෙන් සිටීම ඔහු ගේ ලොකු ම වාසනාව විය. ඉගෙනීම අවසන් කිරීමෙන් පසු ලොකු පුතාට ලිපිකරුවකු වශයෙන් ද බාල පුතාට හෙද සේවකයකු වශයෙන් ද රැකියාව ලබා ගැනීමට හැකි විය. සිරිමෙවන් ගේ බිරිය දිනක් පුතුන් දෙදෙනා ඇමැතුවාය.

“පුතාලා දෙන්නම දන්නවනේ තාත්තා කලක ඉඳලාම දඹදිව යන්න ආසාවෙන් සිටි බව. දැන් වත් ඉතින් ඒ ගමන පිළිවෙළක් කරන්න ක‍්‍රමයක් ඇත්නම් හොඳයි නේද?”

“ඔව්, අම්මේ. ඒක හොඳ අදහසක්. මමත් පුළුවන් තරමින් ආධාර කරනවා. හොඳ තැනක් කතාබහ කරලා තාත්තාට ගමන පිළිවෙළක් කර ගන්න කියන්න.” ලොකු පුතා පැවැසී ය.

“මමත් උදවු කරනවා. තාත්තා ඒ ගමන යන එක හොඳයි. තාත්තා දඹදිව ගිහිල්ලා ආවාට පස්සෙ, අවුරුදු දෙකකින් විතර අපි කොහොම හරි අම්මාත් දඹදිව වන්දනාවේ යවමු.” බාල පුතා කතා කළේ වඩාත් උනන්දුවක් දක්වමිනි.

“අනේ, පොඩි පුතේ ඒ ගැන කරදර වෙන්න එපා. ඔය දෙන්නා මහ ලොකු සල්ලි කාරයෝ නොවන බව මම දන්නවනෙ. අපි දැනට තාත්තා යවලා ඉඳිමුකො.” අම්මා බාල පුතා දෙස බැලුවේ ආදරයෙනි.

ලොකු පුතා තුන් මාසේ ආපදා ණය මුදලක් ලබාගෙන එය පියාට දුන්නේ ය. බාල පුතා රැකියාවට යන්නට වූ පසු සිය ඉතිරි කිරීමේ ගිණුමේ තැන්පත් කරගෙන තිබූ මුදල ගෙන පියාට දීමට පසුබට නො වී ය.

බිරිය ඉතිරි කරගෙන සිටි සුළු මුදල් ප‍්‍රමාණයක් ද ඊට එක් විය. එහෙත් නියමිත මුදල් ප‍්‍රමාණය සම්පූර්ණ නො වී ය. පියා කෙසේ හෝ දඹදිව වන්දනාවේ යැවිය යුතු ය යන අදහස මේ වනවිට බාල පුතා ගේ සිතෙහි තදින් ම කා වැදී තිබිණ.

“තාත්තෙ මේ ගමන නම් කොහොම වත් නොගිහින් ඉන්න එපා. අපි අපේ වත්ත පහළ තියෙන ලොකු කොස්ගහ විකුණමු. එතකොට ඔය ගාණ සම්පූර්ණ කරගන්න පුළුවන්.”

“ඒකට නම් මම කැමැති නැහැ පොඩි පුතේ. අයියා හරි ඔයා හරි ගෙයක් හදන දවසක ඒක ප‍්‍රයෝජනයට ගන්න පුළුවන්.”

“අපිට දැන්ම ගෙවල් හදන්න පුළුවන් කමක් නැහැ තාත්තෙ. එහෙම දෙයක් කරන කාලෙක අපි කොහොම හරි ඒ කටයුත්ත කරගන්නම්. අම්මයි අයියයි දෙන්නමත් කැමැතියි කොස් ගහ විකුණන එකට.”

බිරියත්, ලොකු පුතාත් බාල පුතාගේ කතාව අනුමත කරමින් කතා කළහ. වත්ත පහළ වූ කොස් ගහ විකිණීමෙන් අවශ්‍ය කරන මුදල සම්පූර්ණ කරගැනීමට සිරිමෙවන් කැමැති විය. බිරිය ගේත් දරුවන් ගේත් ආශිර්වාදය මැද ඔහු දඹදිව වන්දනා ගමන පිටත්ව ආයේ ය.

බරණැස විශ‍්‍රාම ශාලාවේ වන්දනාකරුවන් සමඟ වැතිර සිටි සිරිමෙවන්ට නින්ද යන බවට ලකුණක් නො වී ය. ඔහුට අඹු දරුවන් සිහි විය. මවුබිම සිහි විය. කොපමණ ප‍්‍රශ්න තිබුණත් සිය මවුබිම කොපමණ හොඳ දැයි සිතිණ.

ඔහු වැතිර සිටි තැනින් නැඟිට මිදුලට පිවිසියේ ය. එහි වූ කොහොඹ ගහ යට සිමෙන්තියෙන් තැනූ බංකුවක් විය. ඔහු එහි හිඳ ගත්තේ ය.

නඩනායකයාත් ඉන්දියාවෙන් එක් කරගෙන සිටි සේවකයාත් කොහේ දෝ හොරගමනක් ගියවුන් සේ ඉදිරියෙන් වැටී ඇති පාර දිගේ පැමිණ ගේට්ටුවෙන් ඇතුළට පිවිස විශ‍්‍රාම ශාලාව දෙසට යන අන්දම සිරිමෙවන්ට දක්නට ලැබිණ.

ඒ ගැන වැඩි දුරට සිතන්නට නොගිය ඔහු ඉදිරියෙන් දිස්වන මූලගන්ධකුටි විහාරය දෙස සතුටෙන් බලා සිටියේ ය. මූලගන්ධකුටි විහාරය, ඒ අසල වූ සොඳුරු බෝධිය, නුදුරෙන් වූ ධර්මපාලතුමා ගේ පිළිරුව, ඈ සියල්ල සිසිල් රැස් දහරින් නහවමින් ඇසල සඳ ගගන තල මැද දිලෙමින් තිබිණ.

බුදු හිමියන් ධම්මචක්කපවත්තන සූත‍්‍රය දේශනා කළ ඇසල පුන් පොහෝ දින ම නො වූ ව ද ඒ දිනට දෙදිනකට පසු හෝ මේ ස්ථානයට පැමිණ වැඳ පුතා ගන්නට ලැබීම මොන තරම් භාග්‍යයක් දැයි සිරිමෙවන්ට සිතිණ. බුදු සිරිත ආසාවෙන් හදාරා තිබුණු සිරිමෙවන්ට අදාළ ස්ථානයන්ට ගිය විට ඒ සම්බන්ධ සිද්ධි සිහිපත් වූයේ නිරායාසයෙනි. කකුත්ථා නදිය ආසන්නයට ගිය විට ඔහුට මේ සිද්ධිය සිහිපත් විය.

බුදුහු පාරෙන් ඉවත් ව එක්තරා ගසක් මුලට වැඩියහ. එහි වැඩම කර ආනන්ද හිමියන් අමතා “ආනන්ද, මාගේ සඟළ සිවුර සතරට නමා එළන්න. ආනන්ද මට ක්ලාන්තයි. ඉඳ ගන්ට ඕනෑ” යයි කීහ.

ආනන්ද හාමුදුරුවෝ “යහපති ස්වාමිනි” යි බුදුන්ට පිළිවදන් දී සඟල සිවුර, සතරට ම නමා එළුෑහ. එහි හිඳ ගත් බුදුහු ආනන්ද හාමුදුරුවන්ට මෙසේ කීහ. “ආනන්ද, වතුර ටිකක් ගේන්න. මට හරි තිබහයි. වතුර ටිකක් බොන්න ඕනෑ.” 

එවිට ආනන්ද හිමියෝ බුදුන්ට මෙසේ කීහ. “ස්වාමිනි, දැන් කරත්ත පන්සියයක් ගියේ ය. කරත්ත රෝදවල මැඬී වතුර තිබෙන්නේ ඇබිත්තයි.

ඒ ඇබිත්තත් කැලඹී බොර වී ගලයි. කකුත්ථා නදිය පෑදි දිය ඇති ව, රසවත් දිය ඇති ව, සිහිල් දිය ඇති ව මේ නුදුරින් ගලා යයි. ස්වාමින් එහි වැඩ පැන් කරා සිරුර සිහිල් කර ගනු යෙහෙකි.”

දිනපතා රාත්‍රී හතට බරණැස මූලගන්ධකුටි විහාරයේ බුද්ධ පූජාව පවත්වා භික්ෂුන් වහන්සේලා ධම්මචක්කපවත්තන සූත‍්‍රය දේශනා කරති. ඒ වූ කලී වන්දනාකරුවන් ගේ සිත්හි සැදැහැ මල් සුපිපෙන මොහොතකි.

“චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි...”

ධම්මචක්කපවත්නා සූත‍්‍ර දේශනාවේ සමහර කොටස් මේ මොහොතේ පවා සිරිමෙවන් ගේ සවන් වටා රැව් දෙන්නා සේ ය. සූත‍්‍ර දේශනාව අවසානයේ දී විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ අනුශාසනාවක් කළහ.

“... ධර්මපාල තුමා කියන ශ්‍රේෂ්ඨ පුරුෂයා ගේ වටිනාකම ලංකාවේ ජනතාවට සමහර විට නොතේරෙනවා වන්න පුළුවන්. ධර්මපාලතුමා පහළ නොවන්නට ශී‍්‍ර ලංකාවේ බෞද්ධයන්ට මේ පූජනීය ස්ථානයන්ට පැමිණිලා වැඳ පුදා ගන්නට අවස්ථාව ලැබෙයි කියලා හිතන්නට පුළුවන්කමක් නැහැ.

 මේ වෙනුවෙන් එතුමා විඳ තිබෙන දුක් ප‍්‍රමාණය අප‍්‍රමාණ යි. කර තිබෙන්නා වූ කැපකිරීම් අප‍්‍රමාණයි...”

සිරිමෙවන් වාඩි වී සිටි ස්ථානයෙන් නැගිට්ටේ ය. පාර පැන මූලගන්ධකුටි විහාරය පිහිටි භූමියට පිවිසියේ ය. ඒ ස්ථානයෙ විදුලි එළියෙන් ආලෝකවත් ව තිබිණ. බෝධිය අසල වූ පස්වග මහණුන්ට ධර්ම දේශනා කරන මොහොත විදහාපාන පිළිම දෙස ටික වේලාවක් බලා සිටියේ ය.

අනතුරු ව නොදුරින් වූ ධර්මපාල පිළිරුව අසලට ගොස් ටික වේලාවක් බලා සිටියේ ය. සිරිමෙවන් ගේ දෑස කඳුළෙන් තෙත් වන්නට විය. ඔහු දෑත් එක්කර ධර්මපාලතුමා ගේ පිළිරුවට වැන්දේ ය.

ආපසු විශ‍්‍රාම ශාලාවට යන්නට කල්පනා කළ සිරිමෙවන් ධර්මපාලතුමා ගේ පිළිරුව අසලින් ඉවතට යන්නට සැරැසුණේ ය. ඔහුට ඉදිරියට තබන්නට ලැබුණේ පියවර දෙක තුනක් පමණි. වන්දනා නඩයේ නායකයා සිරිමෙවන් සිටි දෙසට දිවගෙන පැමිණියේ ය.

“සිරිමෙවන් මහත්තයා, අපේ වන්දනා නඩේ හිටපු පේමවතී උපාසක අම්මා මේ පැත්තට ආවද?”

“නැහැ.”

“රාති‍්‍රයේ පූජාවට විහාරෙට ආවාට පස්සෙ පේමවතී උපාසක අම්මා ආපසු විශ‍්‍රාම ශාලාවට ඇවිදිල්ලා නැතුවා වගෙයි. එයා නැති බව අපි දැනගත්තේ දැනුයි. සෙනඟ ගොඩේ ඇවිදිල්ලා ගේට්ටුවෙන් ඇතුළු වෙන්නෙ නැතුව කෙළින්ම පාර දිගේ ඉස්සරහට ගියාද දන්නෙ නැහැ.”

පේමවතී උපාසක අම්මා මේ වන විට අසූ වැනි විය ඉක්මවා සිටියා ය. ඇගේ ඥාතීහු ඇය තනිව මේ වන්දනා ගමනට එවන්නට මනාපයක් පළ නො කළහ. “කිසි දේකට බය වෙන්න එපා.

පේමවතී උපාසක අම්මා මාත් එක්ක එවන්න. මම මේ පුරුදු වෙන්න යන ගමනක් නොවෙයි. වයස අවුරුදු අනූව පැනපු අයත් මම දඹදිව වන්දනාවේ එක්කරගෙන ගිහින් තියෙනවා.

මේ ගමන මාත් එක්ක යන්නේ බොහොම වැදගත් උදවිය.

මම වන්දනාමාන කටයුතු කරලා, කිසි කරදරයක් නැතුව ආපහු ගෙදෙට්ටම ගෙනත් බස්සන බවට පොරොන්දු වෙන්නම්.” නඩ නායකයා ගේ මෙවන් ප‍්‍රකාශ හමුවේ ඥාතින් ගේ අකැමැත්ත යටපත් වී ගියේ ය.

සිරිමෙවන් ගේ සිතෙහි මෙතෙක් වේලා පැවැති සියලු ප‍්‍රසන්න හැඟීම් යටපත් වී ගියේ ය. මෙතෙක් වේලා සොඳුරු ලෙස දිස්වෙමින් පැවැති සඳේ පැහැය පවා වෙනස් ව රත් පැහැයට හැරී ගියා සේ ඔහුට හැඟිණ.

ඔහුට හද ජනිත කෝපය තවදුරටත් යටපත් කරගෙන සිටින්නට අපහසු විය.

“රටකින් රටකට මිනිස්සු අරගෙන ඇවිදිල්ලා තමුසෙලා කරන මේ බොරු තක්කඩිකම්වල තේරුම මොකක්ද ඕයි. දැන් ඉතින් කොහොමෙයි කියලා ඒ උපාසක අම්මා හොයා ගන්නද?”

“අනේ, සිරිමෙවන් මහත්තයා තරහ ගන්න එපා. අපේ නඩේ කෙනෙකුත් එක්ක මේ පැත්තෙ ටිකක් හොයලා බලන්න. මම අපේ වැඩට චෙන්නායිවලින් එක්ක ආපු මනුස්සයත් එක්ක ටවුම පැත්තට ගිහිල්ලා බලන්නම්.

අපි හෙට දවල් එකොළහ වෙන කොට වාරාණසියේ ඉස්ටේසමට යා ගන්න ඕනැ. අපිට එතන ඉඳලා චෙන්නායිවලට පැය හතළිස් දෙකක විතර දුම්රිය ගමනක් යන්න තියෙනවා.”

නඩ නායකයා ඉක්මන් ගමනින් ආපසු යන්නට විය. ‘මේ වගේ ජනාකීර්ණ විශාල රටක දී අහිංසක මනුස්සයෙක් අතරමං වුණාම හොයා ගන්න එක්ක මොන තරම් දුෂ්කර කාර්යයක්ද? කිසිම වගකීමක් නැතුව මෙහෙම වන්දනා නඩ අරගෙන ඇවිදිල්ලා මිනිස්සු අමාරුවේ දාන එවුන්ට කස පහර දෙන්න ඕනැ.

මේකත් දැන් බිස්නස් එකක් වෙලා.’ සිරිමෙවන් ගේ සිතෙහි මෙවන් නොයෙක් සිතිවිලි නැඟෙන්නට විය. එහෙත් ඒ සිතිවිලි වචන බවට පත් කරන්නට ඔහු ඉක්මන් නො වී ය.

කිසි ම කතාවක් බහක් නැති ව, සාංකාවෙන් මෙන් බලාගත් අත බලාගෙන වන්දනා ගමනේ යෙදුණු පේමවතී උපාසක අම්මා ගේ රුව සිරිමෙවන් ගේ මනසෙහි ප‍්‍රබලාකාරයෙන් සිත්තම් වන්නට විය.

ඇය කෙරෙහි උපන් මහත් වූ අනුකම්පාවකින් ඔහු ගේ සිත පිරී යන්නට විය. ‘දේශය අති විශාලයි. ජනගහණය සිටින්නේ කෝටි ගණනින්.

එහෙත් පිපාසයට ඇයට වතුර පොදක් දෙන්නේ කවුද? ක්ලාන්තයක් හැදුණොත් ඇයට පිහිටවන්නේ කවුද? මේ මහා දේශයේ දී ඇයට අන්ත අසරණ ලෙස මියැදෙන්නට ඉඩ නොදිය යුතු ය. ඇය සොයා ගන්නට කළ හැකි හැම උපකාරයක් ම කළ යුතු ය.’

 තිර අදිටනක් ඇති කරගත් සිරිමෙවන් වහ වහා ඉදිරියට ගමන් කරන්නට විය.


Nissanka Rajapaksa

unread,
Apr 26, 2024, 8:06:29 PMApr 26
to INDRAKA group
25
රෙදි සෝදන යන්ත්‍ර

රංජිත් මල්ලියාවඩු

මොකද බලාගෙන ඉන්නෙ? එහෙම ඉන්න වෙලාවක් නෑ. පේනවද සෙනඟ? ඔක්කොම සුනාමියට ලක්වුණු අය. ඉක්මන් කරන්න. ඕක සම්පූර්ණ කරල දෙන්න.”

කොස්තාපල්වරිය තරමක් තනුක ස්වරයකින් කිව්වා. ශබ්ද සාන්ද්‍රණය අඩු නිසා මනුවීර උඩ ගිහින් බිම වැටුණෙ නැහැ.

පොලිස් ස්ථානයකින් ඉටු කර ගත යුතු සිවිල් රාජකාරි අපමණ තිබුණත් පොලීසියක් ඇතුළට යන්න සිදු වීම ලැජ්ජාවට කාරණාවක් විදියටයි මනුවීර තවමත් සලකන්නෙ.

 ඒ කොහොම වුණත් දෙවන වතාවටත් මනුවීරට පොලීසියට යන්න සිද්ධ වුණා. මුල්වතාව ඉතාමත් සාර්ථක ගැට කපන්නෙක් නිසා, හැඳුනුම් පත අහිමි වෙච්ච වෙලාවේ. ඒ පිළිබඳ පැමිණිල්ලක් කරන්න.

පැමිණිලි පොතේ පැමිණිල්ල සටහන් කරද්දිත්, ඊට පස්සෙ මනුවීරගෙ දැන ගැනීමට කියවද්දීත්, පැමිණිල්ලේ සහතික පිටපතක් අරගෙන පොලීසියෙන් එළියට එද්දීත් මනුවීර කල්පනා කළා.

ඇත්තටම ගැට කපන්නා කවුද? නාඳුනන පුද්ගලයෙක්ද? තමාද? කොස්තාපල්වරිය ප‍්‍රශ්න අහපු විදියට කෙනෙකුට එහෙම හිතෙන්න ඉඩ තියෙනවා.

අන්තිමට ඒ කාරිය අහවරයි කියල හිතාගෙන මනුවීර ඊළඟට ගියේ අංක 67 වසමෙ ග‍්‍රාම නිලධාරි උත්තමයගෙ කාර්යාලයට. ක්ෂේත‍්‍ර රාජකාරි නැති දවසක් නිසා එතුමා කාර්යාලයේ සිටිනු ඇතැයි ඔහු විශ්වාස කළා.

ඒත් ප‍්‍රතිඵලය වුණේ, දවසම රස්තියාදු වෙලා හිස් අතින් ගෙදර එන්න. ඉපදීම, මරණය සේම හැඳුනුම්පතක් ගැනීමත් දුකක් කියල මනුවීර චිත්තභ්‍යන්තර දින සටහන් පොතේ දිනයට නියමිත පිටුවේ සටහන් කළේ ඒක මතක හිටින්න.

පළමු ගමනෙ දින සටහන පරණ වෙන්නත් කලින් මනුවීරට ආයෙත් පොලීසි යන්න වැඩ කටයුතු යෙදුණා.

වගකිව යුත්තා මහා සාගරේ. මිනිසුන් දහස් ගණනක් මරා දමල, ගේ - දොර සුන්නද්දූලි කරල, දරු පවුල් සී සී කඩ යවල, බඩු මුට්ටු පැහැර ගෙන අන්තරායකින් තොරව මූද ආපසු ගියා. මනුවීරල තාම අනාථ කඳවුරුවලයි, පොලීසි ගානෙයි, කන්තෝරු ගානෙයි හොඳටම තැම්බෙනව.

දිනය – 2004.12.30 වේලාව - පැය 14.30, පිටුව - 340,

ඡේදය – 203, පොත - CIB (4)

වරදක් කිරීම සම්බන්ධව අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 109 (1) සහ (2) වගන්තිය ප‍්‍රකාර පොලීසිය වෙත තොරතුරු සැපැයීම.

සම්පූර්ණ නම - සීලරත්න මනුවීර

ජාතික හැඳුනුම් පත් අංකය – අස්ථානගත විය (තිබේ නම්)

වයස - අවුරුදු 40

ස්තී‍්‍ර / පුරුෂ භාවය – පුරුෂ

ජාතිය - සිංහල

ආගම – බුද්ධාගම

රැකියාව - ලිපිකරු

පෞද්ගලික ලිපිනය – අංක 30, විජයබා පිරිවෙණ පාර, තෙල්වත්ත.

හැම ඉල්ලුම් පත්තරේකම මේ තොරතුරු විමසනවා. ඒ නිසා පුරුද්දෙන්ම වගේ් මනුවීර ඒ සියල්ල සම්පූර්ණ කළා. ඊළඟට මොනවද ලියන්නෙ?

වර්ෂ දෙදහස් හතරක් වූ දෙසැම්බර් මස විසිහය වෙනි දා උදේ නවයත්, නවයහමාරත් අතර මුහුද ගොඩ ගැලී ය.

 එම උපද්‍රවයෙන් සීලරත්න මනුවීර වන යට කී පැමිණිලිකරු, බිරිය වන වජිරා මනුවීර, දරුවන් වන සාලිය මනුවීර සහ ජාලිය මනුවීර වැල්ලබඩ පත්තුවේ තෙල්වත්ත ග‍්‍රාම නිලධාරි වසමේ, විජයබා පිරිවෙණ පාරේ, අංක 30 දරණ ස්ථානයේ ඉදිකර ගෙන පදිංචි ව සිටි ස්ථිර නිවස සම්පූර්ණයෙන්ම විනාශයට පත් විය.

ගේ හැදුවෙ ආණ්ඩුවෙන් ණය අරගෙන, ණය බර නිසා විශ‍්‍රාම යා යුතු විකල්ප වයසෙදි විශ‍්‍රාම ගැනිල්ලත් අහෝසියි. ණය ගිවිසුම අනුව වයස අවුරුදු හැට පිරෙන තුරු වැඩ කරන්න වෙනවා.

එහෙම ගෙවිල ඉතිරි වෙන කොටස විශ‍්‍රාම පාරිතෝෂිකයෙන් අඩු කරනවා. එතෙක් ඉඩමෙ ඔප්පුව කන්තෝරුවෙ තියාගන්නවා. කුලී ගේක ඉන්නවට දෙවෙනි නෑ.

අවුරුදු හැට කොහොම වෙතත් දැනටමත් ශරීර කූඩුවෙ කොටස් බාගෙට දිරල. පැය අටක් වැඩ කරන්න තව පැය හයක්, හතක් මහ මඟ බස්වල, කෝච්චිවල. එහෙම කඹුරලයි දරු පැටව් එක්ක ගාල් වෙන්න මේ කූඩුව හදා ගත්තෙ.

නොගෙන නොගෙන ඉඳල, නොගන්න අප‍්‍රමාණ හේතු සාධක ගෙන හැර දක්වල, පොඩිවුන් අල්ලපු ගෙදරට රිංගීම නවත්ත ගන්න, අන්තිමට රූපවාහිනියක් ගත්තෙ ඊයෙ පෙරේදා.

 ආපදා ණය මුදල අරගෙන ඒ සිද්ධ කර ගත්තෙ තවත් ආපදාවක් විත්තිය තේරුම් ගන්න මහ දවසක් ගියේ නැහැ. අම්මට ටෙලිනාට්‍ය, පොඩි පුතාට කාටූන්, ලොක්කට තවත් මොකක්ද එකක්. හිටපු ගමන් චැනල් මාරු වෙනව. එතකොට ගෙදර සාමෙත් මස්තබාල්දු වෙනව. අන්තිමට මනුවීර ප‍්‍රවෘත්ති බැලිල්ලත් අත් ඇරිය.

”කෝ.... තාම ඉවර නැද්ද?”

කන් අද්දරම පිපිරීමක් සිද්ධ වුණා. ස්ඵෝටනය කර්ණ පටහ පටලයට තදින්ම දැනුණා. එවර කතා කළේ පොලිස් කොස්තාපල්වරිය නොවෙයි. මනුවීර උඩ ගිහින් බිම වැටුණා. පුරවමින් සිටි ආකෘති පත්තරේ නන්නත්තාර වුණා. පෑන මොහොතකට අස්ථානගත වුණා. බෙල්ල දශමයකින් විතර ඇද වුණා.

මුහුද ගොඩ ගැලුවෙ ටොන් සිය ගණනක් බර කෝච්චියක් පෙරළාගෙන.

එහෙව් එකේ මොන රූපවාහිනියක්ද? රාලහාමිගෙ ගෝරනාඩුව සාධාරණයි. සුනාමි පැමිණිලිවලට ආපු මිනිස්සු තව කොච්චර ඉන්නවද? මනුවීර පොලිස් කොස්තාපල්ගේ හැසිරීම සාධාරණීකරණය කරන්නට උත්සාහ කළා.

”මහත්මයා කවි, කෙටිකතා ලියන මනුස්සය. ඒව ඉතින් කල්යල් බලමින් ඉවසීමෙන් කරන වැඩ. පොලීසියෙදි අද වගේ දවසක එහෙම බෑ මහත්තයෝ. මං නම් කොළේ පුරවලා බාර දුන්නා.”

මනුවීරගෙ පිටිපස්සෙ හිටපු හාදයෙක් කනට ළං වෙලා වගේ කිව්වා. එතකොටයි දැක්කෙ මිනිහා, සුනාමියට කලින් මනුවීරගෙ ඉඩමට අල්ලපු වත්ත වෙන්දේසි කරපු වෙලාවෙ ඉඩම් කැබැල්ලක් ගත්ත හාදය. මනුවීර මිනිහගෙ ආකෘති පත්‍රෙට එබිල බැලුවා.

ජල විදුලි පහසුකම් තිබූ නිවාසය – වර්ග අඩි 750 යි. විසිත්ත කාමර පුටු කට්ටල 01 යි, ඇඳි පුටු 06 යි, කෑම මේස 01 යි, කෑම මේස පුටු 08 යි, අල්මාරි 02 යි, කණ්ණාඩි මේස 01 යි, කැබිනෙට්ටු 01 යි, ටීපෝ 02 යි, ලියන මේස 02 යි, නිදන ඇඳන් 03 යි, රූපවාහිනී 01 යි, කැසට් රේඩියෝ 01 යි, ශීතකරණ 01 යි, රෙදි සෝදන යන්ත‍්‍ර 01 යි, දුරකථන 01 යි, ගෑස් ලිප් 01 යි.

මේ විස්තරේට කනකර අබරණ, ඇඳුම්-කැඩුම්, කුස්සියේ වළං-පිඟන්, කෑම-බීම ආදියත් එකතු වුණාම වර්ග අඩි 750 ක් ඇතුළෙ මේ තරම් දේවල් ගබඩා කරන්න පුළුවන්ද කියල මනුවීරට හිතුණා.

හැම කතාවකම දෙපැත්තක් තියෙනව. අල්ලපු ඉඩම වෙන්දේසියේ විකුණල තාම අවුරුද්දක් නැහැ. ඔක්කොම ඉඩම් කැබලි 12 යි. එක කැබැල්ලකට තාම කවුරුවත් ඔට්ටු වෙලා නැහැ. හේතුව ඉඩම් කට්ටිය ති‍්‍රකෝණාකාර වීම.

අලෙවි වුණු කැබැලි එකොළහෙන් ධනවංශ ගත්තේ මනුවීරගෙ ඉඩමට යාබද කොටස. ඒකෙ ගෙයක් හදන්න අත්තිවාරම දැම්මෙ පහුවුණු මැයි මාසෙ.

හොඳ නැකත් දවසක. ඉඩමකට සල්ලි හිර කරපු මිනිහෙකුට ගෙයක් හදන්න ලොතරැයියක්ම ඇදෙන්න ඕන.

 කාරණාව කියන්නෙ ධනවංශගෙ ලී බඩු, ගෘහ උපකරණ තිබිල තියෙන්නෙ මේ අත්තිවාරම උඩ. නිවාසෙ අදෘශ්‍යමාන වෙන්නැති. ඒ වගේ අදෘශ්‍යමාන නිවාස සුනාමි වගේ ස්වාභාවික විපත්තිවලට යසට ගැළපෙනව.

ඒ අතරෙ ධනවංශ සම්පූර්ණ කරපු ආකෘති පත්තරෙත් අරගෙන පෝලිමට එකතු වුණා. එතැනත් දිග පෝලිමක්. ඔහු එතැන සිටි කොස්තාපල්ට සම්පූර්ණ කරපු පෝරමය දුන්නා. කොස්තාපල් රුපියල් විසිපහක් අයකර ගෙන අයපතක් නිකුත් කළා.

 තවත් නිලධාරියෙක් බාරගත්ත පෝරම මත ස්ථානාධිපතිවරයාගේ අත්සන අරගෙන, මුද්‍රාව තියල අයිතිකාරයන්ට ආපසු දුන්නා. මනුවීර බලාගෙන ඉඳිද්දි ධනවංශ කාරණාව ඉෂ්ට කරගෙන යන්න ගියා.

”බිසොවුන්නාන්සෙත් එක්ක සිදුවෙච්ච ලියුම් ගනුදෙනුවක හුටපටයක් නිසා කැලණිතිස්ස රජතුමා රහතන් වහන්සේ නමක් උණු තෙල් කටාරමක ගිල්වලා මැරුවා. ඒ නිසා කෝප වුණු මුහුද එදත් මේ විදියට ගොඩ ගලල තියෙනව.

අපි හිතාගෙන හිටියෙ ඒක ප‍්‍රබන්ධයක් කියල. ඉතිහාසෙ බොරු නොවෙයි. අදත් සිද්ධ වුණේ එකම දේ. මිනිසුන් කරන අපරාධ දැක දැක මූද හිටියෙ කල්පනාවෙන්.

ඉඳලා - විඳලා බැරිම තැන ගොඩ ගැලුව. අපේ ජාතක කතා පොත කියවපු අය නම් දන්නව ඇති. බුදු ඇසිනුත් මේ බව දැකල තියෙනව“ සෙනඟ අතරෙ හිටිය යමක්-කමක් දන්න වැඩිහිටියකුගෙ කතාවක් මනුවීරට ඇහුණා.

හිතාගෙන ආවට වඩා වැඩි කාලයක් පෝලිමේ ගත කරන්න මනුවීරට සිද්ධ වුණා. ආධාර පෝලිමට යා ගන්නත් තියෙනව. වෙලාවට එතැනට නොගියොත් “මේක මනුවීර මහත්තයගෙ පංගුව“ කියල වෙන් කරල තියන්න කෙනෙක් නැහැ.

වජිරා, ඒ කිව්වේ මනුවීරගෙ හාමිනේ අනාථ කඳවුරුවලයි, පෝලිම්වලයි රස්තියාදු කරවන්න මනුවීර හිතුවෙ නැහැ. ඈ දරු දෙන්නත් එක්ක තාවකාලික නවාතැනක නතර කරලයි ඔහු පොලීසියට ආවෙ.

යුද අනාථයන්ට ආධාර, ගංවතුර අනාථයන්ට ආධාර, දැන් අලුත්ම ආධාරෙ සුනාමි, ආධාර බෙදිල්ලත්, බෙදන දේ ගැනිල්ලත් එකම යුද්ධයක්. බෙදන අයටත් නිනව්වක් නැහැ. ලබන අයටත් ඒ ගැන වගවිබාගයක් නැහැ.

සමහර පවුල්වල සාමාජිකයන් තුන්හතර දෙනා එකම පෝලිමේ. වියළි ආහාර නම් මොකෝ. පිසූ ආහාරත් තොග ගණනින් අරගෙන. වෙලාවෙ හැටියට මටයි, වජිරටයි, කොල්ලො දෙන්නටයි බත් පාර්සල් දෙකක් තිබුණොත් ඇති!

පන්සලේ ධර්මශාලාව මැද්දෙ පරණ රෙදිපිළි කන්දයි. විලි වසා ගන්න වස්තරයක් නැති තරමට අසරණ වෙච්ච මිනිස්සුන්ට පරන රෙදිපිළි වුණාට වරදක් නැහැ.

ඒත් අල්මරි හිස්කර ගන්න ලැබුණු අවස්ථාව සෑහෙන පිරිසක් ප‍්‍රයෝජනයට අරගෙන, රෙදි කන්දම ඒ වගට සාක්කි. මනුවීර කල්පනා ලෝකයේ සීමා මායිම්, පවුරු පදනම් බින්දා.

”සීලරත්න මනුවීර...!”

ධනවංශ පොලීසියෙන් පිටවෙලා යනකොට අරගෙන ගිය මනුවීරගෙ හිත අද්දර ආයෙත් හෙණයක් පිපිරුණා.

”මොකද මේ පෝරමේ පුරාම පොත් වගයක් ගැන ලියල. මිනිස්සු ලියපු දේ වත් දැක්කෙ නැද්ද? හිතුවද සුනාමි ආධාරෙට පොතුත් බෙදයි කියලා? ඇයි මන්සුසයො මේ වෙලාවෙ පොත් කන්නද? බොන්නද? තමා පදිංචි වෙලා හිටියෙ ගෙදරක ද? නැති නම් පොත් ගුලකද? “

මනුවීරගෙ සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රෙත් අතේ තියා ගෙන පොලිස් නිලධාරියෙක් ඇහුවා.

ග‍්‍රන්ථ සංවර්ධනෙත් ලියාපදිංචි කරපු පුස්තකාලයක් තිබුණු ගෙදරක. ලියාපදිංචි අංකය එච්.එල්.එකසිය විසිපහ . මනෝ මූලික කාරණාවලින් මොහොතකට අත් මිදුණු මනුවීර හීන්සැරයක් පිට කළා. රාජකාරි අඩස්සිය නිසා රාලහාමිට ඒ වගක් දැනුණෙ නැහැ.

” හරි .....හරි ...පොත් තිබුණු වග පිළිගන්නව කියමුකෝ. ඒත් මේ ඉන්න හිටින්න තිබුණු තැනුත් මුහුද උදුරා ගත්ත වෙලාවක්.

 මං අහන්නෙ පොත් ගැන සඳහන් කරාට වන්දියක් ලැබෙයි ද ? කෝ ගෙදර තිබුණු අනෙක් බඩු මුට්ටු ? ඒ තොරතුරු කිසි ම දෙයක් අඩංගු වෙලා නැහැ. නැතත් පි‍්‍රජ් එකක්, ටී.වී.එකක්, වොෂින් මැෂින් එකක් නැති ගෙදරක් දැන් සොයා ගන්න පුළුවන් ද?”

”තිබුණා. රෙදි සෝදන යන්ත‍්‍ර දෙකක්ම තිබුණා! “

”තිබුණා කියල හරි යනවද? ඇයි ඒ වග මේ පෝර්මයෙ සටහන් කළේ නැත්තේ? ජීවිත කාලයක් හරිහම්බ කරපුව අහිමි වුණු වෙලාව නිසා කලකිරීම ;වන්න පුළුවන්. ඒ වුණාට මෝඩ වෙන්න එපා මිස්ටර් මනුවීර !”

”ආ ....ඒ ගැන කලබල වෙන්න දෙයක් නෑ. රෙදි සෝදන යන්ත‍්‍ර දෙකම බේරුණා! “

”මොනවා? ගේ දොර පවා බිමට සමතලා වෙලා තියෙද්දි වොෂින් මැෂින් දෙකක් විතරක් බේරුණා. ඔය වගේ කතාවක් කිව්වේ මිස්ටර්ම විතරයි. කොහොමද බේරුණේ! වතුරෙ ගහගෙන ගිහින් කොහෝ හරි උඩක රැඳිල තිබුණද? නැත්නම් ගෙට තට්ටු දෙක තුනක් තිබුණද? “

පඩි දවස්වලට වෙළෙඳ ආයතන ගණනාවකින්ම කන්තෝරුවට ආවා. කොටස් වශයෙන් පඩියෙන් කැපෙන්න සහන ක‍්‍රමේට බඩු දෙන්න. වැටුප් විස්තරෙයි, හැඳුනුම් පතේ ඡායා පිටපතයි, මාසික වාරිකේ වැටුපෙන් අඩු කර එවන බවට කන්තෝරුවෙ ලිපියයි විතරයි ඉල්ලුවෙ.

බැංකුවෙ වගේ කරදරයක් නෑ. ඇපකාරයො නෑ. ප‍්‍රතිඵලේ විදියට කන්තෝරුවෙ බහුතරේ නානාවිධ උභය පාරිභෝගික භාණ්ඩවල හිමිකරුවන් වුණා.

මේ වාගේ භාණ්ඩවලට පූර්වයේ සිටම හිමිකම් කියූ අය ඔවුන්ගේ වාග් සාඩම්බරය පළ කළා. වජිරාගෙන් කිසිම කරදරයක් නැති නිසා මනුවීර තුන්දොර පාලනය කර ගන්න සමත් වුණා.

ළමයි දෙන්නගෙ ඉස්කෝල ඇඳුම්, පන්ති ඇඳුම්, මනුවීරගෙ ඇඳුම්.....මේ ඔක්කොම සෝදන්නෙ වජිරා. දිනපතාම දවසේ අඳින ඇඳුම් සේදුවත්, අන්තිමට සති අන්තෙටත් වැඩ තියෙනව. ළිඳ ළඟ ගලේ අතුල්ලලා, ළිඳෙන් වතුර ඇදගෙන වජිර කරන්නේ යම යුද්දයක් කියලයි සමනළී කියන්නෙ.

මට පුළුවන්ද සනාගෙ රෙදි හෝදන්න? ඩෙනිම් කලිසම් පිටි ගෝනි පරාදයි. බෙඩ් ෂීට්, ටවල් ....සෝදන්න ගියාම පණ යනව. ඉතින් සනා තමයි අපේ ගෙදර මේ ඔක්කොම සෝදන්නෙ. සනා කිව්වෙ කි‍්‍රකට් සනා නොවෙයි.

සමනළීගෙ මහත්තයා. ඇගේ ගෙදර ඈත් එක්ක බින්න බහින අවස්ථාවෙ සනත් හිතුවෙ නැහැ බින්න විවාහයෙ මේ තරම් භින්න සාධක තිබෙන වග. සනා අන්තිමට සති අන්තෙට විතරක් ගෙදර යන්න යොදා ගත්ත. මේ භින්න ලක්ෂණ, දැන් පුළුල් විවර බවට පත් වෙමින් තිබෙනවා.

සමනළි මහේස්ත‍්‍රාත් උසාවියෙ රෙජිස්ට‍්‍රාර්ගෙ දූ. ඈ කන්තෝරු කෝච්චියෙ දී කාට කාටත් මේ විශබීජ එන්නත් කරන්න දඟලනව.

සනත් වගේ බින්න විවාහයේ ප‍්‍රතිඵල විදියට නොවුණාට මනුවීරත් රෙදි සෝදනව. අවස්ථාවෙ හැටියට. ඒ වෙලාවට වජිර දැක්කොත් එපා කියනව. මනුවීර ගණන් ගන්නෙ නැහැ. තාමත් රෙදි සෝදනව.

ළිඳෙන් වතුර ඇදගෙන සබන්ගාලා. ළිඳ ළඟ ගලේ අතුල්ලල. අනුන්ගෙ තැනක වැටිල ඉන්න සිද්ධ වෙලත් මනුවීරට ඒකේ වගක් නැහැ. ඒ වුණාට වජිර හිතන්නෙ මනුවීර ලවා රෙදි සෝදවා ගැනිම ස්වාමිපුරුෂයාට කරන මදිකමක් කියල.

 ඈ කොච්චර වත් ඒ ගැන කියනවා. අපේ වොෂින් මැෂින්වලට ලයට් බිල් නෑ කියල මනුවීර හිනා තළන්නෙ ඒ වෙලාවට. ඇත්තටම මනුවීරලාගෙ ගෙදර මාසික විදුලි පරිභෝජනය ඒකක තිහටත් අඩුයි.

මනුවීර විදුලි ගාස්තුව ගෙවන්නෙ බැංකුවට. බැංකු කවුන්ටරයේදි අයපත දුන්නා ම අයකැමිවරිය මුලින්ම ගෙවිය යුතු මුදල බලනවා. ඊළඟට මහා අනුකම්පාවකින් වගේ මනුවීරගෙ මූණ දිහා බලනවා.

ටේලර් යන්ත‍්‍රයට දෑස යොමු කරනවා. ආයෙත් මනුවීරගෙ මූණ දිහා බලනවා.ඒ අතර වාරයෙ ඇගේ දෙකනේ තෝඩු දෙකෙන් විතරක් වොට් සීයයක විතර කාන්තියක් විහිදෙනවා.

https://archives.silumina.lk/punkalasa/20080831/_art.asp?fn=ar0808313

Nissanka Rajapaksa

unread,
Apr 27, 2024, 8:13:26 PMApr 27
to INDRAKA group
26
පුනර්ජීවනය

පර්ල් එස් බක් ගේ Death and Dawn
කෙටිකතාවේ අනුවාදය

පරිවර්තනය පියසීලී විජේනායක

මේ ලෙඩා දමන්න තැනක් නෑ ඩොක්ටර්. වාට්ටු සේරම පිරිල.” හෙදිය පැවසුවා ය.

“එයා දාන්න පෞද්ගලික වාට්ටුවට.” වෛද්‍යවරයා සුදු පැහැති කබාය ගලවමින් එසේ තෙපලී ය.

“ඒවත් සේරම පිරිල. අර වයසක මැක්ලියොඩ් මහත්තය අද රෑටවත් විශ්වාස නෑ. එයාට ඔක්සිජන් දෙනව. පවුලෙ හැමෝම එයා වටේ පිරිල හිටිය.”

හෙදිය නැවත වරක් කීවා ය.

“මේ කොලු ගැටයට ඒකෙන් කමක් කාරියක් නැති වෙයි. එයා අද රාත්‍රියෙ ඇහැරගෙන ඉන්න එකක් නෑ.”

වෛද්‍යවරයා එසේ පවසමින් කබාය ඇඟලා හිස් වැස්ම පැළැඳ ගත්තේ ය.

ඒ මධ්‍යම රාත්‍රියයි. 'තරුණයා අවදි උණොත්...' හෙදියට සිතිණි. ඔහු ගේ සිහින් දිගටි මුහුණට කෙස් රොද කිහිපයක් වැටී ඇත. හදිසි රිය අනතුරකින් තුවාල වූ තරුණයා ගේ මුහුණ සුදුපාට වෙළුම් පටිවලින් වෙළා ඇත.

වයස අවුරුදු දහසයක් පමණ විය හැකි ය. ලෙඩා රෝහලට ඇතුළත්කරන විට ඔහු සිහිසන් ව සිටියේ ය. තුවාලයෙන් අධික ලෙස ලේ වහනය වෙමින් පැවතිණ. වාසනාවට මෙන් ඔහු නගරයේ රෝහලට ගෙන ඒමට තරම් පහසුකම් සැලැසී තිබිණ.

තරුණයා කාගේ කවුරුන්දැයි කිසිවෙක් දැන නොසිටිය හ.

“නොම්මර විසිතුනේ වාට්ටුවට.”

හෙදිය අණ දුන්නා ය. ඈ ලෙඩා රැගත් ටෙ‍්‍රාලිය පසු පසින් ගමන් ගත්තා ය. රාත්‍රියේ වූ තද නිහැඬියාව රෝහල පුරාම පැතිරෙමින් පැවතිණ. කුඩා දරුවකු ගේ හෝ කෑ ගැසීමක් කොතැනකින් හෝ නෑසිණ. තවත් හෝරා කිහිපයකින් මේ නිහඬියාව බිඳ වැටෙනු ඇත.

විසිතුන් වන කාමරය තද නිහැඬියාවක පැවැති අතර මහලු මක්ලියොඩ් මහතා ඇඳෙහි වැතිර සිටියේ ය. මඳ ආලෝකයක් නික්මුණ විදුලි බල්බයක් දැල්වෙමින් පැවැතිණි.

"පරිස්සම් වෙන්න හිස පැත්ත ගැන හුඟක්ම සැලකිලිමත් වෙන්න."

හෙදිය අවධාරණයෙන් ම පැවසුවා ය.

“තවත් යමක් කරන්න තියනවද මිසී.” සේවකයා යටහත් පහත් ව හෙදිය ඇමතුවේ ය.

“නෑ! නෑ! බොහොම ස්තුතියි.” ඔවුන් පිටත් වනවාත් සමඟ ම හෙදිය තරුණයා ගේ පොරෝණය මඳක් ඔසවා බැලුවා ය. ඔහු සෙමෙන් හුස්ම ඉහළ පහළ හෙළන අන්දම ඇයට පෙනෙයි.

එහෙත් ඇයට ඉන් සෑහීමට පත් විය නො හැකි ය. ඕ තරුණයා ගේ නාඩි බැලුවා ය. හෘදය වස්තුවේ ස්පන්දනය වේගවත් ව පැවැතිණ.

හදිසියේ ම ටෙලිෆෝනය නාද විය. හෙදිය වහා එහි දිව ගියා ය.

“හලෝ..” ඈ සිහින් හඬින් ඇමැතුවා ය.

“මාටින් මෙනෙවියද කතා කරන්නෙ?”

කෙළවරින් ඇසුණ පැහැදිලි කටහඬ ඕ වහා හැඳින ගත්තා ය. ඒ මැක්ලියොඩ් මහත්මිය ගේ කටහඬ ය.

“අපි අවදියෙන් ඉන්නෙ. ලෙඩා ගැන මම බලන්නම්.”

ඕ රිසීවරය බිම තබා වහා කාමරයට පිවිසියා ය. තරුණයා ගේ නාඩි ගැස්ම දැන් තරමක් සතුටදායක යැයි ඇයට හැඟිණ.

එහෙත් මහලු මැක්ලියොඩ් මහතා.. ඔහු ගැන විශ්වාසයක් ඇයට තැබිය හැකි ද? මැක්ලියොඩ් මහතා කෙරෙන් කිසියම් වෙනසක් ඕ දුටුවා ය.

වහා ම වෛද්‍යවරයාට කතා කළ යුතු යැයි ඈ සිතුවා ය.

“ඕ.. ලෙඩාගෙ තත්ත්වය එහෙනම් හොඳ මදි...?”

“මට බය හිතෙනව ඩොක්ටර්.”

“හොඳයි එන්නත ලෑස්ති කරන්න.”

මාටින් මෙනෙවිය එනම්, හෙදිය අවශ්‍ය කළමනා සම්පාදනය කළා ය. කුඩා තැටියක දැමූ ඉඳිකටු, විෂ බීජ හරණය කළ රෙදි කඩ.. මේ ප‍්‍රතිකාර නිෂ්ඵල ප‍්‍රයත්න නොවනු ඇත. මොහොතකට හෝ මහල්ලා ගේ අවසන් සමු ගැනීමට පහසුවක් වනු ඇත. වෛද්‍යවරයා හඬ නොනඟින සේ බෑගය බිම තැබුවේ ය.

ලෙඩුන් දෙදෙන ම හැල හොල්මනක් නොමැති ව සිටිය ද, තරුණයා නම් අවදානම් අවස්ථාව පසු කර ඇතැ යි ඔවුහු සිතූ හ. ඔක්සිජන් සැපැයීම සඳහා සියල්ල පිළියෙල වී අවසාන ය.

“ගෙදර කට්ටිය ආවම ඒ ලෙඩාට පුළුවන් ඉක්මනින් හයිපොඩයික් එන්නත ලබා දෙන්න ඕනැ”

“ඔක්කොම ලෑස්තියි ඩොක්ටර්”

“අර අනික් ලෙඩා...”

“හදිසි අනතුරක්...”

“ඕ... මේ දවස්වල හරියට හදිසි අනතුරු” වෛද්‍යවරයා පැවසුවේ ය. වෛද්‍යවරයාත් හෙදියත් එක්වරම පිටතින් ඇසුණ මැක්ලියොඩ් නෝනා ගේ හඬට සවන් දුන් හ.

“මම එන්නද ඇතුළට”

“මම මේ දැන් එන්නතක් දුන්නා විතරයි. ඔබට දැන් ලෙඩා බලන්න පුළුවන්”

“ඔබට බොහොම ස්තුතියි ඩොක්ටර්”

මැක්ලියොඩ් නෝනා වෙව්ලන හඬින් පැවසුවා ය. සිහින් උස සිරුරකින් යුත් තරුණ පුත‍්‍රයා ද දුඹුරුවන් හිසින් හා කෙසඟ සිරුරකින් යුත් තරුණ ලේලිය ද ඇය සමඟ රෝගියා ගේ කාමරයට ඇතුළු වූ හ.

ලේලිය ඇය ගේ හැඬුම්බර මුහුණ අත් ලේන්සුවකින් මුවා කරගෙන සිටියා ය. තරුණ දුව පියා ගේ හැඩරුවට බෙහෙවින් සමාන වූවා ය. ඇය ද පවුලේ සෙසු සාමාජිකයන් සමග එක් වූවා ය. හෙදිය මේ සියලුදෙන දැන හඳුනා ගෙන සිටියා ය. ජෝර්ජ්, රූත්, සහ මේරි තම මෑණියන් සමග දිනපතා ම තම පියා බැලීමට පැමිණියෝ ය.

“කවුද අර හාදය...?”

ජෝර්ජ්, ඇඳෙහි සිටි තරුණයා දෙස බලා විමසුවේ ය.

“එයාට හරිම අමාරුයි. වාට්ටු සේරම පිරිල. ඒකයි “... එයා ගැන ඩිංගක් අමතක කරන්න”

මාටින් මෙනෙවිය, මැක්ලියොඩ් මහතා ගේ ඇට සැකිල්ලක් වන් අත විෂබීජ නාශක මුසු කළ පුළුන් කැබැල්ලකින් ඇතිල්ලුවා ය.

හෙදියත් වෛද්‍යවරයාත් පිටත් වූ සැණින් ම දරුමල්ලෝ සිය පියා ගේ සයනය අසළට වී සිටියහ.

“හල් අපි ඔක්කොම ඉන්නවා” මැක්ලියොඩ් මහත්මිය පැහැදිලි හඬින් පැවසුවා ය.

“ඔබ අහගෙනද? මේ දවස්වල ගෙදර වත්ත හරිම ලස්සනයි. හරියටම ඔබ ආස කරන විදියට” මෑණියන් එසේ පවසා නිහඬවත් ම ජෝර්ජ් තම පියා ඇමැතුවේ ය.

“තාත්තේ, අපි දොඩම්වලින් හොඳ කෑමක් පිළියෙල කළා. රූත්ට ඕන උණා ඒක ඉස්තරම් විදියට හදන්න”

“ඔව්! ඔව්!” ඇය ගේ කටහඬේ වූ හැඬුම් බර ගතිය මැඩ පවත්වා ගැනීමට ඈ බලවත් වෙහෙසක් දැරුවා ය.

“තාත්තේ, මේ දවස්වල චෙරි ගස්වල ගෙඩි පිරිල.” මේරි දෙවැලමිට සයනය මත ඔබාගෙන සිය පියා ගේ මුහුණට එබීගෙන සිටියා ය.

“මේ දවස්වල චෙරි ගස්වලට එන පුංචි කුරුල්ලො පිරිල. තාත්තට මතකද? අපි පාර්සන් කලපුවට ගිය ගමන?"

මොහොතක නිහඩියාවක් පැතිරී ගියේ ය. ඇඳෙහි වැතිරී සිටි තරුණයා ගේ ඇසිපිය සෙලැවිණි. කිසිවකු ගේ කට හඬේ දෝංකාරයට ඔහු කන් දුන්නේ ය.

“තාත්ත මොනවද කියන්න හදනව“ මැක්ලියොඩ් නෝනා ඉඟි කළා ය. කවුරුත් මහල්ලා වෙතට නැඹුරු වූහ.

ඔහු ගේ දෙතොල් යාන්තමට සෙලැවිණි. මහල්ලා තමා අසල සිටින පිරිස දෙසට වරින් වර නෙත් යොමු කෙළේ ය.

“මාර්තා,” ඒ ඔහු ගේ දුබල කටහඬ. දරුවෝ පියාගේ කටහඬට සවන් දීමට වඩාත් ළං වූ හ.

“හල්, මං ඉන්නවා, අපි ඔක්කොම ඉන්නවා.”

“පුංචි පුතා හරි ආසාවෙන් ඉන්නෙ. එයාගෙ අලුත්ම බයිසිකලේ සීයට පෙන්නන්න” ඒකට තව බෙල් එකක් ඉල්ලන්නයි එයා බලන් ඉන්නේ අසල ඇඳේ සිටි තරුණයා හිස මෑත් කරගත නො හැකි ව එලෙස සියල්ලට ම සවන්දීගෙන සිටියේ ආසාවෙන් යුතු ව ය.

“මට, මතකයි, ඔක්කොම” මැක්ලියොඩ් මහතා දැඩි ආයාසයෙන් යුතු ව පැවසුවේ ය.

“මේ ඔක්කොම එකට ඉන්න කොට කොයි තරම් සන්තෝෂද? මේරිටත් විවාහ වෙන්න වැඩ පිළිවෙළක් යොදන්න ඕන” ජෝර්ජ් පැවසුවේ ය.

“ඒ උනාට මම තාත්තගෙන් වෙනස් වෙන්නෙ නෑ” මේරි පැවසුවා ය.

“හොඳ ළමයි...” මහල්ලා අලස වූ නිදිබර ගතියකින් යුතු ව පැවසුවේ ය.

"අපට ඕන දේවල් හැම තිස්සෙම අම්මයි තාත්තයි දැනගෙන හිටිය. අවුරුදු පහළොහේදි මට තිබුණ ලස්සන මුද්දක්. තාත්ත කොහොමද දන්නෙ මං ඒකට ආස බව. ඒකට පුංචි දියමන්තියකුත් අල්ලල තිබුණ”

රෝගී තරුණයාට යම්තම් පීඩාකාරී මතකයක් සිහියට නැඟිණ.

ඉදිරියෙන් ආ වාහනයේ තමා හැපුණේ කෙසේ ද? ඔහු ගේ කල්පනාව යළිත් තරුණිය ගේ කටහඩින් අවදි විය.

“ලබන ඉරිද පාස්කු. ඩැපඩිල්ස් මල් පිපිල. ලිලී මල් හයක් දැන් පිපිල. කලින් තිබුණෙ මල් තුනයි”

“නෑ පහයි” ඒ දුබල හඬ ඇසෙත් ම මැක්ලියොඩ් මහත්මිය මවිත වූවා ය. තරුණයා පාස්කුව ගැන මෙනෙහි කෙළේ ය. මිනිස්සු හොඳට ඇඳ පැලැඳ දෙව් මැඳුර කරා පියනඟති.

ඒ කුමකට ද? මැක්ලියොඩ් මහතාගේ දෑස සෙමින් පියැවිණි. සියලු දෙන ම වහා දොරටුව අසලට පැමිණියෝ ය.

“ඩොක්ටර්”

“ඉක්මනට”

මහල්ලා හිස සැලුවේ ය. ඔහු ගේ නාඩි ගැස්ම නැවැතීමට ආසන්න වූවා සේ ය. මැක්ලියොඩ් මහත්මිය ගේ මුහුණේ පෙනුම සුදුමැලි විය. එහෙත් ඇය ගේ කටහඬ අපැහැදිලි නො වී ය.

“දරුවනේ දැන් හොඳයි ගිහින් ඩිංගක් විවේක අරගෙන ඉන්න” මං තාත්ත ළඟ ඉන්නම්” ඔවුහු ඔවුනොවුන් ගේ මුහුණ දෙස බලා සිටියෝ ය. රූත් සහ මේරි නොහඬා සිටින්නට වෙර දරන අයුරු ඔවුන් ගේ මුහුණුවලින් දක්නට ලැබිණ.

“තාත්තේ, සුබ රාත්‍රියක් හෙට උදේම අපි එන්නම්” සියලු දෙන ම කාමරයෙන් නික්ම යන අයුරු, තරුණයා බලා සිටියේ ය. අනතුරු ව ඔහු ගේ දෑස යොමු වූයේ වයස්ගත දෙමහල්ලන් වෙතට ය. දැන්... ඊළඟට කුමක් සිදුවේවිද? ඔහුට හැඬුම් යන්නට එන්නා සේ දැනිණ.

ජීවිතයේ කවර දිනයක දී වත් තමාට පියකු සිටි බවක් ඔහුට මතක නැත. පුංචි සන්දියේ ම මෑණියන් ද මිය ගිය වග ඔහු ගේ සිහියට නැඟෙයි.

“හල් ඔබ නියම සැමියෙක්. අපේ ප්‍රීතිය නිසාම දරුවොත් වාසනාවන්ත වුණා”

"මං දැන් ඔබ ළඟයි..." ඈ සිය දෙතොල් සපා ගත්තා ය.

“මාර්තා!” ඔහු ගේ දුබල කටහඬ ඇයට ඇසෙයි.

“ඔව් හල්. මං ඔබ ළඟ නැවතිලා ඉන්නෙ” හේ හදිසියේ සිය නෙත් විවර කෙළේ ය. මඳ සිනාවක් දෙතොලග පැතිරිණ.

“ඔව්! හොඳ ජීවිතයක්!” මැක්ලියොඩ් මහතා තම අත බිරිය ගේ අත මත තැබුවේ ය.

ඔහු ගේ දෙනෙත් පියැවිණි.

තරුණයාට හඬන්නට ඕනෑ විය. මැක්ලියොඩ් නෝනා ගේ දෙනෙතින් ගලා ආ කඳුළු බිඳු බේරී පහළට ගලා යන්නට විය. තත්පර කිහිපයකට පසු ඈ සෙමින් තම සැමියා ගේ අත පහතට හෙළුවා ය.

අනතුරු ව ඈ බෑගයෙන් කුඩා පොතක් එළියට ගත්තා ය. එය ලෙදර් කවරයක් දැමූවකි. කඳුළු බිඳු පහතට වැටෙද්දී ම ඈ හඬ නඟා යාච්ඥා කළා ය. ඇගේ වදන් තරුණයා ගේ සවනත වැකෙයි.

ඒ පාඨ බයිබලයෙන් උපුටා ගත් ඒවා විය හැකි ය. ඉරිදා පාසලේ දී ඔහු ඒවා අසා තිබිණ. ඒ දවස්වල නම් ඔහුට සිතුණේ ඒ වදන් අරුත් සුන් ඒවා බව යි. හදිසියේ ම දැන් ඒවායේ හැඟීම් බර විලාසයක් ඔහුට දැනිණි.

මහල්ලා මරණය ගැන බිය නොවන වග ඔහුට හැඟිණි. ඔහුට ප‍්‍රසන්න නිවසක් ඇත. වයස් ගත යුවළ භද්‍ර යෞවන සමයේ දී ඇවිද ගිය තුරු වදුලු හා දැන හැඳිනගත් මතකයත් ඔවුන් ගේ විවාහයත්, කෙමෙන් පවුලක් බිහිවූ අයුරුත් සැමදා ඇය ගේ මතකයේ රැඳී පවතිනු ඇත.

මහලු මැක්ලියොඩ් නෝනා පොත වසා දමා බොහෝ වේලාවක් වාඩිවී නිසල ව බලා සිටියා ය. අනතුරු ව නැඟී සිට, ප‍්‍රාණය නිරුද්ධ වූ සැමියා ගේ තොල් සඟලට සිපාචාර දැක්වූවා ය.

“ආදරණීය හල්, නැවත හමු වන තුරු ඔබට ආයුබෝවන්”

වෛද්‍යවරයා මැක්ලියොඩ් නෝනා ඉදිරියේ සිට ගත්තේ ය.

“ඩොක්ටර්, සියල්ලම අවසානයි. මම දැන් යන්න ඕන”

“ඔබ බොහොම නිර්භීතයි. මැක්ලියොඩ් මහත්මිය”

“නැහැ ඩොක්ටර්, අපි දෙන්නා පටන් ගත්ත ජීවිතය ඉදිරියටත්...”

එපමණකින් නැවතුණා ය. තරුණයා ඇය නික්ම යනු දුටුවේ ය. ඇය අදහස් කෙළේ කුමක් ද? හේ සීලිම දෙස බලා සිතිවිල්ලේ යෙදී හුන්නේ ය.

ජීවිතය යනු කුමක් දැයි ඔහු මෙයට පෙර දැන සිටියේ නැත.

* * *

“ඔබ අවදි වුණේ දැන් ද?” තරුණයා කිසිවකු ගේ හඬින් අවදි වූයේ ය.

“වැඩි වෙලාවක් නෑ”

“ඔබ සියල්ල දකින්න ඇති" හෙදිය ගේ ඇමැතුම අසමින් ම හේ නිහඬ ව සිටියේ ය. මහල්ලා ගේ මෘත ශරීරය ආවරණය කරන අයුරු තරුණයා දුටුවේ ය. තවත් මොහොතකින් ප‍්‍රාණය නිරුද්ධ වූ දේහය ඉවතට ගෙන යනු ඇත.

තරුණයාට මහල්ලා ගේ ප්‍රීතිමත් නිවහන සිහියට නැඟෙයි. ජීවිතය මේ තරම් පි‍්‍රයජනක ද? එසේ නම් තමා මිය යා යුතු ද? නැත.

ඉදිරියෙන් වූ ඇඳ හිස් ව ඇත. පිරිසිදු ඇඳ ඇතිරිල්ලක් එයට දමා තිබිණි. ජීවිතයේ ප‍්‍රථම වතාවට ඔහුට හුදෙකලා බවක් නොදැනුණේ ඒ මොහොතේ ය. තමාට රැකියාවක් ලැබේවි... රූමත් ළඳක්... ඔහුට නම් කවදාවත් ට‍්‍රයිසිකලයක් තිබුණේ නැත.

හෙදිය තමා අසලට එන අයුරු තරුණයා දුටුවේ ය.

“කොහොමද ඉලන්දාරිය උදේ කෑම...?” හෙදිය ගැඹුරු කටහඬින් යුතු ව පිළිවිසියා ය.

හේ සිනාසුණේ ය.

“මට දැන් හුඟක් පහසුයි. ඇත්තටම මට හොඳට කෑම ටිකක් ඕනැ. මට සෑහෙන්න බඩගිනියි.

https://archives.silumina.lk/punkalasa/20080817/_art.asp?fn=ar0808173

Nissanka Rajapaksa

unread,
Apr 28, 2024, 8:21:43 PMApr 28
to INDRAKA group
27
විප්ලවවාදියා ගේ මරණය
- කැත්ලීන් ජයවර්ධන
රතු ඇන්තූරියම් මල්වඩම්, රතු බාබන්ඩේසියා මල්වඩම්, රතු රෝස මල්වඩම් අතරේ රතු ඇඳගත්තු හතර දෙනෙක් මෘත කලේබරය හතර පැත්තෙන් හිටගෙන.

 අස්සක් මුල්ලක් නෑර එසවුණ රතු කොඩි, රතු කමිස නිසා වටාපිටාව නෑකම් කිව්වේ මළ ගෙයකට වඩා වමේ මැයි රැළියකට.

මරණයක් සිද්ධ වෙලා තියන බව දැන ගන්න සාම්ප‍්‍රදායික මට්ටමින් තිබුණු එකම සලකුණ වුණේ සුදු පසුබිමේ කළුපොල්ගෙඩි අකුරු ලියැවුණ බැනර් පේළිය විතරයි. ඒත් ඒවායෙත් ඇඳිලා තිබුණේ හැම මළ ගේකම තියෙන ‘නිවන් සුව අත්වේවා’ වගේ හුරුපුරුදු ප‍්‍රාර්ථනා නෙවෙයි.

”මනතුංග සහෝදරයාට විප්ලවීය ආචාරය...”

සේකරට සුසුමක් හෙළුණා. හිත නොසන්සුන් වෙලා තියෙන්නෙ ඇයි? කියන ප‍්‍රශ්නෙට උත්තර බඳින්න සිද්ධ වුණෙත් සේකරගේ හිතටමයි.

 මල් සාප්පුවක මිනී කපන්නෙක් හැටියට මළ මිනිවල ගති ලක්‍ෂණ ගැන අත්දැකීම් තිබුණ පළියටම දන්න කියන කෙනකුගේ ඇඟපත කියතකින් ඉරනවයි කියන එක එච්චර ලේසි නැති බව සේකරට තේරුණේ මනතුංගගේ මෘත ශරීරේ ඇහැ ගැහුණ මොහොතෙමයි.

ඒත් මළමිනි ඉරන එක, වතුර වුණ ලේ එළියට අදින එක, බේත් විදින එක සේකරගේ රාජකාරි ලැයිස්තුවේ අනිවාර්ය අංග. මැරුණ පුද්ගලයකුගේ ඥාතිමිත‍්‍රාදීන් බලාපොරොත්තු වෙන විදිහට මළමිනියේ හකුපාඩ බිඳලා කම්මුල්වලට පුළුන් පුරවලා ලේ මස් නැති මූණට හිනාවක් ගේන එකත් ඒ රාජකාරි ලැයිස්තුවේම එක අංගයක්.

 කොහොම වුණත් හිතවතකුගේ මළමිනියක් එක්කලා මේ සෙල්ලම කරනවයි කියන එක නං හිතන තරම් ලේසි නෑ. මනතුංගගේ ඇටකටු බිඳිද්දී හිතට දැනුණ චකිතයට ශෝකයට මුල් වුණෙත් ඒකමයි.

මේ සැක සංකා හිතේ නලියන්නෙ දෛවෝපගත විදිහට පරණ මිත‍්‍රයකුගේ මළකඳ කපන්න කොටන්න සිද්ධ වුණ නිසා විතරක්ම නෙවෙයි කියන එකත් මේ වෙනකොට සේකරට ඒත්තු ගිහින්.

එම්බාම් කරන්න ගත්තු මළමිනියේ ඇඳුම් බැඳුම් අහක් කරලා කේසාන්තේ ඉඳන් පාදාන්තෙට යනකං හිමින් සීරුවේ නිරීක්‍ෂණය කරද්දී අහම්බෙන් වගේ ඇහැට පෙනුණ කෙන්දක් වගේ පුංචි දෙයක් නිසා මනතුංග ගැන තමාගේ හිතේ ඇඳිලා තිබුණු ගෞරවනීය හැඟීම නිකං බොඳ වෙලා ගියේ කොහොමද කියලයි සේකර හිතුවේ.

”මේ ඇහුණයි? පාංශකූලෙට හාමුදුරුවො වඩම්මන්නේ නැත්තේ මොකෝ?”

සේකර නන්දාවතී නිහඬ කළේ රැවුමකින්. ගෙදර දොර වැඩක් පලක් බලා කියාගෙන නොඉඳ මේ අම්මණ්ඩිටත් මා එක්කලා මළ ගෙදර එන්න වුවමනා වුණේ මොන ඇන්නාවකටද කියලයි සේකරගෙ හිත ඇහුවෙ.

”ගමේ මනුස්සයානේ? මාත් එන්නං.”

මනතුංගගේ මළගම ගැන අහපු නන්දාවතී කීවේ එහෙමයි. මිරිස්සේම ඉපදුණු මනුස්සයෙක් වුනත් සේකර මතක ඇති කාලයකින් මනතුංග එක්ක පයුරු පාසානෙක යෙදිල නෑ.

දැං වෙනකොට සේකරගෙ හිතේ ඉතුරු වෙලා තියෙන්නෙ ගමේ ඉස්කෝලෙ පස්වෙනි පන්තියට යනකං මනතුංගත් එක්ක බොහොම ළෙන්ගතු කමින් කළ ඇසුරේ මතක සටහන් කීපයක් විතරයි.

ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩි ලකුණු අරගෙන කොළඹ සුපිරි පාසලට ඇතුළු වුණායින් පස්සෙ මනතුංග සේකරට මුණ ගැහුණෙම නැති තරං.

 සුපිරි විද්‍යාලෙන් විශ්වවිද්‍යාලෙට තේරුණ මනතුංග එන්න එන්නම කැපිල පේන චරිතයක් බවට පත් වෙන්න ගත්තා. ඒ විප්ලවීය දේශපාලන ව්‍යාපාරෙකටත් සම්බන්ධ වුණ නිසා වෙන්නැති.

මනතුංග වගේ කවුරුත් නම කියපු තරමින් දන්න ‘පොරක්’ බවට පත් වෙන්න තමාට බැරි වුණේ වුවමනාවක් නොතිබුණු නිසාද? වාසනාවක් නොතිබුණ නිසාද? කියන ප‍්‍රශ්නෙ සේකරගෙ හිතට නොනැගුණාමත් නොවෙයි.

ලැබීම නොවෙයි. ලැබීම නොලැබීම ගැන සේකරගේ හිතේ මුල් ඇදිල තිබුණු සමහර මතිමතාන්තර දෙදරුම් කැවුවේත් මනතුංගමයි. කොහොම වුණත් විශ්වවිද්‍යාලයෙන් පිටවෙන තුරාවට සේකරට මනතුංග මුණ ගැහුණේ නෑ.

කාලෙකට පස්සේ මනතුංග ගමට ආවෙ ගෞරව උපාධියක් එක්කම විප්ලවයකුත් කර තියාගෙනයි. අටේ පන්තියෙන් පාසල් ගමන අත් හිටවපු සේකරට මනතුංගගේ වාමාංශික අදහස් උදහස් දිරවගන්න එතරං ලේසි වුණේ නෑ.

ඒත් මනතුංගගේ වෑයම සමාජ අසාධාරණය පිටු දකින, සර්ව සාධාරණ වැඩ පිළිවෙළක් වෙනුවෙන් ගමේ සහෝදරයන් බලමුළු ගැන්වීම බව නම් සේකරට තේරුණා. මනතුංග වෙනුවෙන් ගෞරවයක් භක්තියක් සේකරගෙ හිතේ පැලපදියම් වුණේත් ඒ නිසා.

”මොන කෙහෙල්මලක්ද අයිසේ? තමුසෙම කල්පනා කරල බලනව. අටේ පන්තියෙන් පස්සෙ තමුසේ බයිසිකලෙන් ගෙයක් ගානේ ගිහින් පාං විකුණනවා. ඇයි තමුසෙට ඉස්කෝලෙ යන්න බැරි වුණේ? ඉගෙන ගන්න බැරි නිසා ද? නෑ සල්ලි නැති නිසා. ඉතිං ඇයි තමුසෙට සල්ලි නැති වුණේ? ඇයි තමුසෙට ඉගෙන ගන්න වරම් නැති වුණේ? මේවා කාගේ වැරදිද? කවුද මේවට වගකියන්න ඕන.?”

”කරුමෙ තමයි ඉතිං?”

නොසිතා නොබලා කටට ආවාට ඔහේ කියවුණු ඒ පිළිතුරෙන් එළිදැක්වුණේ තමාගේ නොදැනුවත්කම බව සේකරට තේරුම් ගියේ තිතක් කොමාවක් නැති මනතුංගගේ යාංහෑල්ල අහගෙන හිටියාට පස්සෙ.

”කරුමෙ? මොන කරුමෙද ඕයි? කවද කරපු කරුමයක් ගැනද තමුසෙල ඔය කියන්නෙ? කොහෙද අයිසේ ඔය කරුමෙ තියෙන්නෙ?”

මනතුංගගේ කතාව අහන්න තමාගේ කන්දෙකට අමතරව ඇස් දෙකත් කටත් විවර වෙලා තිබුණු හැටි සේකරට මතකයි. මාක්ස්ගේ ලෙනින්ගේ උධෘත මේ තරම් හුඟක් මනතුංග කටපාඩම් කර ගන්න ඇත්තේ විශ්වවිද්‍යාලයේදී වෙන්න ඇති කියලයි සේකරට හිතුණේ.

”මේ ලෝකෙ ධනපති පන්තියයි පීඩිත පන්තියයි කියල පන්ති දෙකක් බිහිවුණේ ඔය කරුමෙ නිසාද අයිසේ. මොන බොරු කතාද ඕවා? ඔය ඉගැන්වීම් හරිම ප‍්‍රතිගාමියි. ධනපති පන්තියක් බිහිවෙලා තියෙන්නෙ සූරා කෑම නිසා මිසක් උලව් කරුමයක් නිසා නොවෙයි. ඔය ආගම් තමයි මේ ගම්වල කොල්ලන්ව නන්නත්තාර කරල තියෙන්නෙ.”

වෙහෙරහේන පන්සලේ අයෝමය බුදුපිළිම වහන්සේ ඒ වෙලාවේදී තමාගේ හිතේ ඇදිල ගියේ අහවල් හේතුවක් නිසාද? කියන එක සේකරට අද තව වෙන තුරාවට හිතාගන්න පුළුවන් වෙලා නෑ. මනතුංග ඒ අභියෝගෙ කළේ බුදුහාමුදුරුවන්ටද? කියන ප‍්‍රශ්නෙ හිතට ආපු වෙලාවට ඇඟ කිළිපොලාගෙන ගිය හැටි නම් සේකරට මතකයි.

ඒ දවස්වල මනතුංගලාගේ සටන් ව්‍යාපාරය දියත් කෙරුණේ කම්කරු පන්තිය වෙනුවෙන්. පීඩිත පන්තිය හැටියට ඒ අයගේ පොතේ ලියවිලා තිබුණේ කම්කරු සහෝදරයන් විතරමයි. එතනදී ගොවියාත් වැටිල තිබුණේ සුළු ධනේශ්වරයන්ගේ ගොඩට. හේතුව ගොවියාත් ඉඩම් හිමියෙක් වීමලු.

ඒත් කාගෙ හරි පුරන් වුණු කුඹුරු කෑල්ලක් ඉල්ලගෙන යලට මහට වපුරලා අයිතිකාරයාට කොටහ ගෙවපු තාත්තා වගේ අඳ ගොවියනුත් ඒ සුළු ධනේශ්වර ලැයිස්තුවටම වැටිලා තිබුණේ මොන හේතුවක් යුක්තියක් උඩට කියන එක සේකරට ඒ දවස්වල වගේම අදටත් හිතාගන්න අමාරුයි.

”හැබෑටම මරණෙ උස්සන්නෙ කීයටෙයි.”

ආයිමත් නන්දාවතීගේ කෙදිරිල්ල. සේකර කලබලයෙන් වටපිට බැළුවා. දේහය එසවෙන්නට ආසන්න බව හඟවන එකම සලකුණ වුණේ මිදුලේ තිරිංග තදකරලා තිබුණ හර්ස් රථය විතරයි. රියැදුරු අසුනේ ගල්පිළිමයක් වගේ ගල්බීත වෙලා ඉන්න සිරිසේන අය්යා දිහා බලලා සේකර අත පොඩ්ඩක් ඉස්සුවා.

 මිනීපෙට්ටි සාප්පුවේ දී තමා එක්ක එක බත්පත බෙදාගෙන කන සිරිසේන අය්යගෙ පිළිතුරු හිනාව මතුවුණේ නම් පේන නොපේන ගාණට .අවමංගල්‍ය අධ්‍යක්‍ෂතුමන්ලාගේ විනය නීති මාලාව මිනීකාර්වල රියැදුරන්ටත් බලපැවැත්වෙන විදිහයි. ඒත් මිනී කපන්නන්ට ඒ විනය නීති අදාළ නැතිව ඇති.

සුපුරුදු කළු ඇදුම් කට්ටලයෙන් සැරසිලා ලස්සන කළු මලක් වගේ බෝ එකක් පැළඳගත්තු පාලිත සේකර ළඟින් යන්න ගියෙත් දැක්කා නොදැක්කා වගේ. ඒ ඇස්වල තිබුණේ ප‍්‍රශ්නාර්ථයක් . “ මිනී කපන එකාත් මොකද මළ ගෙදර ..?” පාලිත මහත්තයට එහෙම හිතුණා වෙන්නත් බැරි නෑ.

”ඇයි දෙයියනේ ? පාංශුකූලෙ දෙන්නෙවත් නැතැයි මේ අය?”

ඒ පාර නං සේකර නන්දාවතී දිහා බැලුවේ කේන්තියෙන්.

”නෑ”

”අර මොකෝ?”

”මෙහෙ ඒවා නෑ”

මොකෝ? මනතුංග වෙන ආගමකටවත් ගිහිල්ලැයි?

”නෑ මනුස්සයෝ විප්ලවවාදී පක්ෂවල අයට ඕව නෑ”

”හත් දෙයියනේ පාට පක්‍ෂ මොකවෙතත් මැරුණු මනුස්සයෙකුට පිනක් දහමක් නොකර හොඳයැ යි “

නන්දාවතී ට කාරණාව තේරෙන්නෙම නෑ. සේකර බිරිය නිහඬ කළේ තොල් දෙක මැදට දබරැඟිල්ල තියලා. ඒත් ගෑනි පහුබහින පාටක් නම් නෑ. සේකරගෙ කන් දෙක ළඟට මූණ ළං කරගෙන කනට කොඳුරලා කිව්වේ කොහෙන්ද හොයා ගත්තු ඕපදූපයක්.

”ඔය මැරිලා ඉන්න මනතුංගගෙ පවුල දාල ගිහිල්ලයි කියන්නෙ “

”කෑ නොගහ ඉන්නවා”

ඒ වතාවේ දී නම් සේකරගේ කේන්තිය රතු ඉර පැන්නා. ඒ එක්කම වගේ මතක් වුණේ මිනීපෙට්ටි මදින සිරිල් මල්ලී කිව්ව කතාවක්. විප්ලවයට දරදිය අදින්නේ පවුලේ යුතුකම් අවම මට්ටමින් වත් ඉෂ්ට සිද්ධ නොකරන අය කියලායි, සිරිල් මල්ලි කිව්වෙ.

මනතුංග ගැන දැනගෙන නෙවෙයි. සේකර නං හිතාගෙන හිටියේ විප්ලවවාදියාගේ සමාජය කාර්ය භාරය දරුවන් දන් දුන්න වෙස්සන්තර රජ්ජුරුවන්ගේ දාන පාරමිතාවට සමාන එකක්ය කියලයි. තමන්ගේ පවුලට පවුල් ජීවිතේට වඩා අනුන් වෙනුවෙන්, සමාජය වෙනුවෙන්, රට වෙනුවෙන් යමක් කරන මිනිස්සුන් අදහන්න ඕනෑ බව යි සේකරට හැඟුණේ.

 මහරගම පිළිකා ඉස්පිරිතාලෙ දී මැරුණු මනතුංගගේ බොඩිය මල්ශාලාවට ගෙනාපු වෙලාවෙත් සේකරගෙ හිතේ ඉස්මතු වුණේ ඒ ගෞරවේමයි. මිනියට අතක් තියන්න සුළු පහේ පසුබෑමක් හිතට ඇති වුණෙත් ඒ නිසාමයි.

තමා අනුදත් සිංහල බෞද්ධ සංස්කෘතියට , බුදුදහමට එපිටින් වුණත් මනතුංග ඉෂ්ට සිද්ධ කළේ උදාර කර්තව්‍යයක්ය කියන එක සේකරට හැඟුණා. මළමිනිය ට අන්දලා තිබුණු දිග කමිස අත ගැලවුණ වෙලාවෙ ඇස් දෙකින්ම දැක්ක ඒ අසාමාන්‍ය හේතු සාධකේ නිසා නෙවෙයි නම් මේ විශ්වාසෙ මේ වෙන තුරාවටම කනපිට පෙරළන්නෙ නෑ.

මනතුංග සහෝදරයාගේ මෘතදේහයට ආචාර කරපු සේකර නන්දාවතීත් එක්ක පාරට බැස්සේ ගමට යන්න හිතාගෙන , මූදු තීරය දිගේ පිම්මේ දුවන රුහුණු කුමාරි කෝච්චියේ කවුළුවකින් දුර ඈත පේන මහ මුහුදත් අහසත් ගෑවෙන ඉසව්ව දිහා බලාගත්තු ගමන් සේකර හිටියේ මනතුංගගේ අතීතය ගැන හිත හිතා.

විප්ලවාදී දේශපාලන සංවිධානයක මුල් පෙළේ කි‍්‍රයාකාරිකයකු හැටියට ප‍්‍රසිද්ධ වෙලා හිටපු මනතුංග ඒ දවස්වල වැඩ කළේ රාජ්‍ය බැංකුවක. බැංකු සේවකයන්ට හොද පඩිනඩි ලැබෙනවයි කියන එක ප‍්‍රසිද්ධ රහසක්. ඒ වුණත් එදා වැඩි පඩි ඉල්ලලා උද්ඝෝෂණ කළෙත් ඒ අයමයි.

උද්ඝෝෂණ මෙහෙයවන වෘත්තීය සමිති නායකයා මනතුංග බව ඒ දවස්වල පත්තරේක පළවෙලා තිබුණා. අඩු පඩියකට මිනීපෙට්ටි සාප්පුවේ අප‍්‍රසන්න දුෂ්කර රාජකාරියක් කරන තමාට ඒ වගේ සටන් ව්‍යාපාරයක නියැලෙන වුවමනාවක් වත් කැමැත්තක් වත් නොතිබුණේ මොන හේතුවක් නිසා ද කියන එක, තාමත් සේකරට ප‍්‍රශ්නයක්.

 ‘දියව්’ ‘ගනිව්’ ‘පලයව්’ වගේ සටන්පාඨ ලියවුණු පෝස්ටර් බැනර් දැන්වීම් අනන්තවත් දැකල තිබුණත් ඒ වගේ වුවමනාවක් හිතට නෙැදැනුණේ පුංචිකාලේ ගමේ පන්සලේ හාමුදුරුවන් එක්ක පුරුද්දට වගේ කියපු පන්සිල් අටසිල් නිසා වෙන්න ඇද්ද?

වැරදුනේ මනතුංගට ද? තමාට ද? කියන ප‍්‍රශ්නේ ආයෙම වතාවක් සේකරගේ හිතට වධදෙන්න වුණා. තමාගේ ඇදහිම් පිළිගැනීම්වල හැටියට නම් ‘දියව්’ ‘ගනිව්’ කියන එ්ව හඳුන්වන්නේ පරුෂ වචන හැටියට. ඒත් මළමිනියේ කමිස අත ගැලවෙන කල්ම සේකර මනතුංග ගැන හිතාගෙන හිටියෙත් විප්ලවීය වීරයෙක් හැටියට.

මිනිස්සු වෙන වෙන ඕනෑ එපාකම් වලටත් ඉණේ ඉහේ සුර පළදිනවා වෙන්න බැරි ද? කියල ඒ වෙලේ සේකරට හිතුණේ මනතුංග නිදහස් කරන්න ඕන වුණ නිසයි. මනතුංගගෙ මෘත ශරීරේ එම්බාම් කරන්න කලිනුයි ඒ සුර පොඩි දෙක සේකරගේ ඇස් දෙකට යොමුවුණේ.

දකුණු අතේ වැලමිට ටිකක් ඉහළින් ගැටගහල තිබුණු සුර පොඩ්ඩ ආරක්‍ෂාවක් ම නොවෙන්න බැරි ද කියලා සේකර කීපවතාවක් ම හිතුව. දෙවෙනි වතාවට තමයි ඉණේ හැංගිලා තිබුණ අගල් දෙකහමාරක තරමේ සුර කෑල්ලට ඇස් දෙක ගියේ.

මේ විදිහේ සුර හුඟක් වෙලාවට හරිගස්සන්නේ මාත්තු පහේ රත්තරන් වලින් බව සේකරට මතකයි. කාලේ හැටියට ඒකෙත් වටිනාකමක් තියන නිසා කළාතුරකින් හරි මළ මිනියක සුරයක් ඉතුරු වෙලා තිබුණොත් මල් ශාලාවේ උදවිය ඒකට වගනොකියා ඉන්නේත් නෑ.

ඒත් ඉතින් බොහොම වෙලාවට මරණෙ ගෙන්න කළින්ම මළ මිනියේ වටින කියන ඇඳුම් ඇඟලුම් උස්සන්නේ පවුලේ උදවියමයි. ඒත් ඉතිං මනතුංගට පවුලක් උන්නු එකක් යැයි?. කොහොම උණත් ආගමික ඉගැන්වීම් වලට, ඇදහිමීවලට වගේම ඒවා පස්සෙ දුවන පසුගාමී මිනිස්සුන්ටත් සමච්චල් කළ, විප්ලවවාදියකුගේ අතට කරට යන්තර සුර වැඩැම්මුණේ කොහොම ද කියන එකයි සේකරගේ ප‍්‍රශ්නේ. ජීවම් කරපු සුර පලදින්නේ අපලෙට.

සේකර අහල දැකලා තියන විදිහට නම් සුර ජීවම් කරන්නෙත් ඒතරම් දැන උගත් උදවිය නොවෙයි. ඒත් ලෙඩක් දුකක් අමාරුවක් වුණාම, අසරණ උණාම මිනිස්සු මොනවාද නොකරන්නේ? එහෙම වුණත් අනාගත වක්තෘන් වගේ රටේ අනාගතය ගැන අනාවැකි කියන විප්ලවවාදියකුගේ රතු කමිසය ඇතුළෙත් ඒ බය ඒ හැටියටම තියෙන්නේ බැරි ද? එහෙම නැත්තං මාරදිව්‍ය පුත‍්‍රයා ඇස්පනාපිට පෙනී පෙනී ඉන්න වෙලාවට මිනිස්සුන්ට අනිත් හැම දේමත් එක්ක විප්ලවයත් අමතක වෙලා යනව ද?

හිත යකාගේ කම්මලක් වුණාට සේකරගේ ඇස් යොමුවෙලා තිබුණේ මහමුහුද දිහාට, දුර ඈත අහසයි මූදයි එකට ගෑවිලා තියනව වගෙයි පේන්නේ. එතනට කියන්නේ ‘සිතිජය’ කියලා බව සේකරට මතකයි. ඒත් ඉතින් කවදාවත් අහස මූදට පාත් නොවන බව කවුද නොදන්නේ ?

Nissanka Rajapaksa

unread,
Apr 29, 2024, 8:47:47 PMApr 29
to INDRAKA group
28

සර්පයා

ශාන්ති දිසානායක

රාස්සිගේ අව්ව වැටී සර්පයා දිලිසෙන්නට පටන් ගත්තේ ය. හරිත වර්ණ උඳුපියලිය පලස මත සෙමින් ඇදී යන සර්පයා මේ සාංකාකූල සැන්දෑවට බිහිසුණු වෙසක් ගෙන එයි.

ඒ කුඩා හිසෙහි මාරාන්තික විෂ පිරුණ දළ ඇතැ යි අනුමාන කළ නො හැකි පරිද්දෙන් මේ උරගයා අලංකාර ය. හැන්දෑ හිරු රැසින් බබළන ශෝභා සම්පන්න දිගැටි වූ ද සුඛනම්‍ය වූ ද බඳ පෙරට ඇදී යත්ම ඉල්පෙන අපූරුව .

ගමනාන්තය නිශ්චිත ව දන්නා අයුරින් සර්පයා උඳුපියලිය පලස මතින් රෝස පාත්තියට ඇදී ගියේ ය.

කදිමට සුපිපුණු රෝස මල් පවා බය බිරාන්ත ව ගියා ට සැක නැති රෝස කටු ද සැඟවෙන්නට මාන බැලුවේ ය.

අභිමානවත් ගමනින් පෙරට ඇදෙන සත්ත්වයා ගේ බිහිසුණු වූත් අලංකාර වූ ත් ස්වරූපයෙන් රෝස පාත්තියේ ම වසඟයට පත් ව ගිය සෙයකි. ඒ මෝහනීය බවින් අත්මිදෙන්නට රෝස පාත්තියට සැලැකිය යුතු වේලාවක් ගත විය.

සෙවිලි කළ උළු ද හා නා නා විධ බීරළු කැටයම් ද සාම්ප‍්‍රදායික දේශීය පෙනුමක් ගෙන දුන් නිවෙසට සර්පයා ඇතුළු වන ආකාරය අඩ නින්දේ පසු වූ සුනඛයා නො දුටුවේ ය.

 හඬක් නොනැගෙන්නට ඕනෑ ම මතුපිටක ගමන් කරන්නට සර්පයා සතු වූ කුසලතාවයෙන් හැන්දෑ හිරු කිරණ පවා පුදුමයට පත් විය.

 ඔව් සර්පයා ඉදිරිපස දොරටුව (එය කැටයමින් අලංකෘත වූ විසල් දොරකි.) යටින් නිවෙසට අනවරසයෙන් ඇතුළු වන ආකාරය හොඳින් ම දුටුවේ හිරු කැන් පමණි.

පිඟන් ගඩොල් ඇතිරූ ආලින්දය හරහා සර්පයා ඇදී ගියේ තුඹස කරා යන ආකාරයෙනි. ඒ තරම් හුරු පුරුදු බවකිනි. මේ මනහර නිවෙසේ නිදන කාමරය අගුළු ලා තිබුණ ද ඊට ඇතුළු වන්නට සර්පයා සමත් වනු නිසැක ය.

යුගල යහන මත තුඹසක් දක්නට නො ලැබිණ. එහෙත් ඒ මත නොසන්සුන් පතිනිය සර්පයාට තුඹසක් විය. ඔව් ඒ අලංකාර වූ ද මුඛයෙහි විස බඳුන් සදිසි විෂ දළ සහිත වූ ද සත්ත්වයාට ඇගේ හෘදය තුඹසක් ම විය.

කඩිනමින් සේ ම පරෙස්සමින් සර්පයා ඇගේ හෘදයට රිංගා ලැගුම් ගත්තේ ය. හරියට ම කියනවා නම් දරණ ගසා ගත්තේ ය. ඉනික්බිති ?

ඉනික්බිති ස්වර්ණමාලි තිගැස්සුණා ය. මං මුළාව හුන් ළඳ උන් හිටි හැටියේ අවබෝධය ලද්දා ය. මලානික ව තිබූ දෙ ඇස බබළන්නට පටන් ගත්තේ ය. “අනේ දෙයියනේ මං වගේ මෝඩියක් .....මට මේ දැන්නෙ තේරුනේ ...”යි පසු තැවෙමින් ඇය ඇඳෙන් බැස්සා ය.

කැඩපතට එබුණේ නිකමට වගේ ය. කැටයමින් ඔප් නැංවූ ශෝභමාන කැඩපත අබිමුව ඇය පරාජයට පත් වූ සෙයකි. ඔව් කැඩපත ම ජයග‍්‍රහණය ලද්දේ ය.

 නිදි වැරීමෙන් අඳුරු ව ගිය මුහුණ ද , තැනින් තැන සුදු හිසකේ මතු වූ හිසද දෙදරුවන් උරා බීමෙන් වැහැරුණ ළමැද ද ඇත්තී මැදි වියේ ඉම ද පසු කරන බව නො කියා කියයි.

කැඩපත තමා වෙත පිරිනමන ප‍්‍රතිබිම්බය දුටු ස්වර්ණමාලි වෙව්ලා ගියා ය. පෙර දින හැන්දෑවේ පැමිණි නාඳුනන්නියත්, මේ ප‍්‍රතිබිම්භයත් සංසන්දනය කරන්නට ඇය වෑයම් කළා ය.

එහෙත් මේ මොහොතේ ජීවිතයේ එක් වරක් පමණක් දුටු ඒ රුව පැහැදිලි ව මතකයට නඟා ගත නො හැකි ය. කෙසේ වෙතත් ඒ නාඳුනන්නිය යෞවනියක් නො වේ.

මැදිවියට සපැමිණි වග සඟවා ගන්නට අනේක විධ වෑයම් දරන්නියක මිස. “අම්මේ... කවුද ඇවිල්ලා” යි දියණියන් බෙරිහන් දුන් කල ස්වර්ණමාලි තුළ උපන්නේ නොරිස්සුමකි.

උදයත් හවසත් දෙක ම දවසේ අතිශයින් කාර්යබහුල කාල වේලාවන් ය. නැන්දනිය ගේ බෙහෙත් වේල හරියට හයට පෙවිය යුතු ය.

 ඒ වග සිහිපත් කරමින් ම ඇය ආලින්දය වෙත පිය මැන්නා ය. වේවැල් පුටුවෙහි හිඳගෙන හුන් ගැහැනිය මඳ සිනාවක් පවා නො පෑවා ය.

“ඇයි? මොකද? කාව හම්බ වෙන්නද?”

රාතී‍්‍ර ආහාරය ද නොපමාව සකස් කළ යුතු වග මෙනෙහි කරමින් ස්වර්ණමාලි ප‍්‍රශ්න කෙළේ නොමනාපයෙනි.

“උපුල් මහත්තයා හම්බ වෙන්ඩ.”

ස්වර්ණමාලි විමසිලිමත් දෑසින් නාඳුනන්නිය දෙස බැලුවා ය.

“උපුල් හම්බවෙන්න මේ ගෑනි. ඒ මොකටද!”

ඇගේ සිරුරේ හැම මාංශපේශියක් ම එසේ ප‍්‍රශ්න කෙළේ ය.

“එයා නං ගෙදර නෑ...”

“ඔෆිස් එකෙන් කිව්වනේ ගෙදර ගියා කියල”

ස්වර්ණමාලි ගේ අඳුරු දෙනයන තවත් තියුණු විය.

“එහෙනං මේ බඩ්ඩ ඔෆිස් එකටත් ගිහිං... මොකද්ද උපුල් හම්බ වෙන්න මෙයාට මේ තරම්ම තියෙන තදියම...” යි සිතමින් ඇය නාඳුනන්නිය ගේ හිසේ පටන් පාදාන්තය දක්වා විමසිලිමත් බැල්මක් හෙළුවා ය.

ඒ බැල්මට ඇගේ බාල විළෙවුන් ද... මිල අධික බ්ලවුසය සහ සාය ද තරමක් පරණ මිරිවැඩි සඟල ද හසුවූයේ තවත් ප‍්‍රශ්න රැසක් ද සහිත ව ය.

“උපුල් තාම ආවෙ නෑ...”

“ඔය ආවෙ“ යි නොසැලැකිලිමත් ලෙස කී ගැහැනිය නැඟී සිටියා ය. යතුරුපැදියෙන් බට මිනිසා හිස් ආවරණය ඉවත් කරන්නට පෙර ඇය පය ඉක්මන් කළා ය.

හිස් ආවරණයෙන් හිස මුදවාගත් ඔහු පළමු ව දුටුවේ ඇය යි. මේ මොහොතේ දකින්නට කොහෙත් ම අපේක්ෂා නො කළ ගැහැනිය යි. උපුල් තිගැස්සුණ බව පෙර දින හැන්දැවේ දී නම් ස්වර්ණමාලි නොදුටුවා ය. එහෙත් මේ හැන්දැවේ ඇගේ හෘදයෙහි දරන ගසා ගත් සර්පයා ඒ බව ඇයට සිහිපත් කරවයි.

“ඔව් උපුල් ගැස්සුණා ගෑනිව දැකපු ගමං... ඇයි ඒ? ඊට පස්සෙ ඒ දෙන්න කුටු කුටු ගෑවෙ මොනවද...? අනේ දෙයියනේ මොනවද? උපුල් ඒ ගෑනිට මොනවහරි දුන්න සාක්කුවෙං ඇරං... ඒ මොනවද! දෙයියනේ ඒ ;මානවද?”

ස්වර්ණමාලි කැඩපතට ඔරවමින් ප‍්‍රශ්න කළා ය.

“ඒ සල්ලි... ඒ වෙලාවෙ ඒ ගෑනිට ඔහේගෙ මිනිහ දුන්නෙ සල්ලි...”

සර්පයා ස්ථිර හඩින් කීවේ ය. නැතහොත් අවධාරණය කෙළේ ය.

“සල්ලි...? මොන එහෙකටද මගෙ මිනිහ ඒ ගෑනිට සල්ලි දෙන්නෙ?”

ස්වර්ණමාලි දෑස ....ප‍්‍රශ්න කළේ උච්ච ස්වරයෙනි. සර්පයා සිනාසෙන්නට පටන් ගත්තේ ය. ඔව් ඒ අලංකාර වූත් මරණීය වූත් සත්ත්වයා මහ හඩින් හිනැහුණේ ය. සර්පයා ගේ සිනාව කොතරම් උස් වී ද බිහිසුණු වී දැයි කිව හොත් කැඩපත බිඳී ගියේ ය. බිඳුණු කැඩපත් කැබැලි තුළ ස්වර්ණමාලි තවත් ස්වර්ණමාලිලා සියක් දෙනෙකුන් දුටුවා ය.

“එක පාරටම කණ්ණාඩිය බිඳිල ගියා. අනේ හරිම අසුබයි. ඇයි මම ඊයෙ හවස කල්පනා නොකළේ අර ගෑනි ගෙ ගෙවිල ගිය සෙරෙප්පු දෙකයි අලුත්ම ස්කර්ට් ඇන්ඩ් බ්ලවුස් එකයි ගැන. මං හිතන්නෙ ඒක අපේ උපුල් ගෙන් හම්බ වුණ තෑග්ගක් වෙන්නැති දෙයි හාමුදුරුවනේ කසාද බැඳල අවුරුදු දහ අටක් වෙනවා.

මට තාම කිසිම තෑග්ගක් ලැබිල නෑ මේ මිනිහගෙන්. ඕන දෙයක් ඕන විදියකට ගන්න කියල සල්ලි නං දෙනව තමා. ඒ වුණාට ඊට වඩා කොයිතරම් වටිනවද පුංචි හරි තෑග්ගක් ගේනවනං මටම කියලා”

ස්වර්ණමාලි සෝබර හඩින් කොඳුළා ය.

”ස්කර්ට් ඇන්ඩ් බ්ලවුස් එක විතරක් නෙමේ . ඒ ඇඳුමට යටින් තිබ්බ ඒ බඩගෙඩිය දැක්කෙම නැද්ද ඔහේ ...? ඒක ඇතුළෙ ඉන්න ඇත්තෙත් ඔහේ ගෙ උපුල් ගෙන් හම්බ වුණ තෑග්ගක්ම තමා...”

සර්පයා ගේ සරදම් ස්වරය ඇයට විඳ දරා ගත නො හැකි විය. කණ්ණාඩි මේසය මත වූ විලෙවුන් බෝතලයක් ගත් ඇය එයින් කැඩපතට දමා ගැසුවා ය. ඉරිතලා ගිය කැඩපත සියක් කැබැලි ව බිම පතිත විය.

”අනේ මං වගේ මෝඩියක් ....මට කිසිම සැකයක් ඇති වුණේ නෑනෙ.මෙච්චර කාලෙකට මේ මිනිසා ගැන “ යි ඇය ඇඳ බදා වැළඳගෙන වැළපෙන්නට පටන් ගත්තා ය.

”කොණ්ඩෙ ඩයි කරන කොට ...නිතර නිතර අලුත් ඇඳුම් අඳිනකොට ටිකක් සැක කරන්න තිබුණ නේ..” සර්පයා ගැඹුරු හඩින් කීවේ ය. හරියට දැනමුත්තකු වගේ.....

ස්වර්ණමාලි හිස සලමින් තවත් කඳුළක් හෙළුවා ය.

”නිතරම කණ්ණාඩියෙන් මූන බලනවා තමා. සපත්තු දෙක කොයිතරම් පොලිෂ් කළත් මදි. ...අනේ මං හිතුවෙ නෑ මෙහෙම දෙයක් දැං ඉතිං මං මොකද කරන්නෙ? මායි මගේ දරු දෙන්නයි අනාථ වුණා නේද ...අයි යෝ ඒ විසේකාර බඩ්ඩ මේ ගෙදරටම ආවනෙ කිසි බයක් සැකක් නැතුව.

ස්වර්ණමාලිට උවමනා වූයේ හඬ නඟා වැලපෙන්නට ය. එහෙත් ටියුෂන් පන්ති ගිය දෙදරුවන් අඳුරත් එක්ක ම ගෙදර එන බව සිහි කොට ශෝකය මැඩ ගත්තා ය.

”අඬල හරියන්නෙ නෑ..නිකං කඳුළු වැක්කෙරෙනව විතරයි .. කමකට නැති කඳුළු ....”

සර්පයා ගේ සරදම් ස්වරය ස්වර්ණමාලි ගේ දෙකනට අනින යවුලක් සදිසි ය.

”ඔව් අඩ අඩා ඉඳල හරියන් නෑ ..”යි එකඟ වෙමින් ඇය ඇඳෙන් නැඟී සිටියා ය. මල් මල් සායෙන් කඳුළු පිස ගත්තා ය.

සුවර්ණමාලි ....අනේ මෙහෙ වරෙං දුවේ .....ඉක්මනට වරෙං කො.....”

යාබද කාමරයෙන් ගලා එන ඒ දුබල හඬ ඇගේ මුහුණෙ අඳුර තවත් වැඩි කළේ ය.

”ඒ ගමන ඒ මළ හෝන්තුවත් බෙරිහං දෙන්න පටන් ගත්ත “යි නොරිස්සුමින් කොඳුළ ගැහැනිය කාමරයෙන් පිට වූවා ය.

” නැන්දම්මට සාත්තු සප්පායම් කරල හරියන් නෑ. අජිත් ගෙ අල්මාරිය අවුස්සලා මොකක් හරි හෝඩුවාවක් හොයා ගන්නව මිසක”

සර්පයා ඇයට උපදෙසක් දුන්නේ ය. නැන්දණිය වෙත යන්නට ගිය ස්වර්ණමාලි වහා නැවතුණා ය.

”ඔව් ....ඒක ඇත්ත ....මෝඩියක් වාගෙ කරබාගෙන හිටපුවහම සේරම හරියයි. “නැන්දණියගේ ආයාචනයට පිටුපාමින් ඇය සැමියා ගේ අල්මාරිය අවුස්සන්නට පටන් ගත්තා ය. කමිස කලිසම් ගොන්න ඇගේ දනක් උසට ගොඩ ගැසුණේ ය. නොඉවසුම් සහගත ව ඇය ඔහු ගේ සියලු රෙදිපිළි එළියට ඇද්දා ය.

”මුකුත් නෑ...මුකුත් ම නෑ ....”යි කෝපයෙන් බෙරිහන් දුන්නා ය.

”නෑ මොනවම හරි ඇති . තව අවුස්සන්න .” යි සර්පයා පෙණය පුප්පා ඇගේ හෘදයට දෂ්ට කළේ ය.

https://archives.silumina.lk/punkalasa/20080810/_art.asp?fn=ar0808103

Nissanka Rajapaksa

unread,
Apr 30, 2024, 9:08:45 PMApr 30
to INDRAKA group
29

හර, බැර හා ශේෂය 
කැත්ලීන් ජයවර්ධන

ය වෛශ්‍යාවක යැයි සිතන්නට මම කැමැත්තෙමි. එහෙත් ඇය වෛශ්‍යා වෘත්තියේ යෙදුණ බවට කිසිදු සාක්ෂියක් සොයා සපයා ගන්නට මට මෙතෙක් හැකි වී නැත.

“වේස ගෑනියෙක් නෙවෙයි නං දීගතල ගිය දරුවෝ ඉන්න වයසක මිනිහෙකුගේ කරේ එල්ලේවි යැයි?”

මා මගේ මතය සනාථ කරගැනීමට දිනුම් පදය ලෙස අනේක වාරයක් කියා ඇත්තේ ඒ ය.

කඳු වළල්ලකින් වට වූ මේ කුඩා නිවහනට අරක්ගෙන ඇති ගුඪ අඳුරු පාළුව මට මේ තරම් තදින් දැනෙන්නේ බොහෝ කාලයකට පසුව පැමිණි නිසා ද? හේමන්ත නම් කියන්නේ මේ භූමි දර්ශන නැරැඹීමෙන් සංවේදී මිනිසකු තුළ කාව්‍යමය සංකල්පනා පහළ වන බව ය.

හේමන්ත කවියෙකි. ඔහු දිගින් දිගටම කවි ලියයි. සුදු කඩදාසි මත ලියැවුණ ඔහුගේ කවිවල සංඛ්‍යාත්මක අගය කොතෙක් වෙතත් ඉන් ලැබුණු ප‍්‍රතිලාභය නම් පවතින්නේ ශුන්‍ය ලක්ෂයක ය.

කර්තෘ ප‍්‍රකාශන වශයෙන් ඔහු එළිදක්වා ඇති කවිපොත් සඳහා වැය වූ මුදල පිළිබඳ පශ්චාත්තාපයක් අදට ද ශේෂ වී ඇත්තේ මා තුළ පමණි. කාවුන්, කැරපොත්තන් හැරුණු විට කාඩ්බෝඩ් පෙට්ටියක ගොඩ ගසා ඇති ඒ මුද්‍රිත කාව්‍යරචනාවලින් පලක් ප‍්‍රයෝජනයක් ලැබූ කිසිවකුත් නැත.

“මහත්තය එනකොට කීය වෙයි ද?”

“සේර් මේ වෙලාවට ඇත්තේ පැක්ටේරියේයි මැඩම්. සේර් බංගලාවට එන්නේ එකහමාරට වගේ.”

අන්තෝනිගේ නුහුරු සිංහල උච්චාරණය පවා මේ මොහොතේ දී මගේ සිතට නංවන්නේ කෝපයකි. කළු කබායකින් වැසුණු ඔහුගේ කෙසඟ සිරුර තද කළු පැහැයෙන් වර්ණ ගන්වන ලද්දේ ඉරඑළිය විසින් ද?

“අන්තෝනිට පුළුවන් නම් ෆැක්ටරියට ගිහින් මහත්තයට එන්න කියන්න. අපි ඇවිල්ල ඉන්නේ ලොකු වුවමනාවකට. මේ මහත්තයත් තකහනියක් නිවාඩු දාගෙනයි ඇවිත් තියෙන්නේ.”

අන්තෝනිගේ බැගෑපත් බැල්ම කියාපාන්නේ පැක්ටේරියට ගොස් නිලධාරි මහතකුට අණඥාවක් නිකුත් කිරීමට තරම් තමා ශක්තිමත් නොවන බව ය. හේමන්ත මා දෙස රවා බලන්නේ මගේ අණ අසාධාරණ යැයි පැවසීමට මෙනි.

“ඔයාට විකාර ද? අන්තෝනි මෙතන වැඩකරන කුලී කාරයෙක්. ෆැක්ටේරියට ගිහිල්ලා තාත්තට ගෙදර එන්නෙයි කියන්න පුළුවන් ද එයාට?”

“නැත්තං අපි යමු ෆැක්ටරියට” යි මා කියන්නේ නො ඉවසිල්ලෙනි.

“එහෙම නො ගියොත් දෙකිං එකක් බේරගෙන අපට අද ම කොළඹ යන්න හම්බුවෙන එකක් නෑ. එතකොට මොකද කියන්නේ? ඔයා නිවාඩු දාන්න ලෑස්ති ද හෙටත්? ඔයාගේ නිවාඩුව මොක වෙතත් සුභාෂ්වයි මහේෂ්වයි ඉස්කෝලේ නෑර පුළුවන්ද?

හේමන්ත නිහඬ ය. පරාජයට ආසන්න මොහොතකදී පැරදුම බාරනොගෙන මුනිවත රැකීමේ කපටි පිළිවෙත සමස්ත පිරිමි වර්ගයාට ම පොදු වූවක් විය යුතු යයි මා නිගමනය කර සිටින්නේ හේමන්ත ප‍්‍රස්තූත කොටගෙන ය.

ලිලී මල් පිපුණ කුඩා දිය අගලේ පිහිනා යන හංසයන් කිහිපදෙනෙකු මගේ දෑසට යොමු වේ. අනතුරුව දිස්වන්නේ කඳු මුදුන් තෙක් එති එතී යන පටුමාවතේ දුර ඈතින් මතු වූ කිසිවකුගේ රූපකායකි.

තිතක් මෙන් මතු වූ ඒ රුව කෙමෙන් තාත්තාගේ හැඩරුව ගනී.

“ඔය ගැන තාත්තත් එක්ක කතා කරන්න ඔන්න මට එහෙම බෑ”

මම කෝපයෙන් හේමන්ත දෙසට හැරෙමි.

“ඇයි?”

“කතා කරන්න පුළුවන් මාතෘකා ද ඕවා?”

“එහෙනං අපි මොකටද මේ ගමන ආවේ?”

“මේ ගමන එන්න ඕන වුණේ ඔයාට. මං ආවේ ඔයාගේ තනියට”

“මේක මහ නින්දාවක්. ඉතිං ඇයි ඔයාට ඒ ගැන තාත්තත් එක්ක කතා කරන්න බැරි? ඔයා තාත්තගේ බෑණා.”

“ඔයා තාත්තගේ දුව“

“ඒත් ඔයා තමයි මේ සමාජෙත් එක්ක වැඩිපුර ගැටෙන්නේ. ඔයා කන්තෝරුවක රස්සාවක් කරනවා. ඉතිං බෑණා කෙනෙක් හැටියට ඔයාට පාරේ බැහැලා යන්න බැරිවෙන එක ගැන කතා කරන්න ඔයාට අයිතියක් නැද්ද?”

“ඒක ලැජ්ජාවට කාරණාවක් හැටියට හිතන්නේ ඔයයි. ඉතිං ඔයාටයි ඒ ගැන කියන්න පුළුවන්.”

මම නො ඉවසුම්සහගතව අවට බලමි. අපේ උණුසුම් විවාදය අතරේ තාත්තා ගෙට ගොඩවී සිටී. කොට කලිසමක් හැඳ තොප්පියක් පැලඳ සිටින තාත්තාගේ අතේ රැඳී ඇති බස්තම මනා ලෙස ඔප මට්ටම් කොට තිබේ. මුහුණට රකුසු වෙසක් මවාගන්නට මම උත්සාහ කරමි. එහෙත් තාත්තාගේ මුහුණේ ඇදීයන්නේ අහිංසක සිනාවකි. ප‍්‍රසන්න සතුටකින් යුතුව මා දෙසත්, හේමන්ත දෙසත් මාරුවෙන් මාරුවට බලන ඒ මුහුණේ අනුක‍්‍රමයෙන් ප‍්‍රශ්නාර්ථය මතුවෙයි.

“දුව මොකෝ හිටගෙන?”

“හිටගත්තේ යන්න” යි මම නො මනාපයෙන් කියමි.

“අපට හොඳට ම පරක්කුවෙලා. නෑවිත් ම බැරි ගමනකුයි මේ අපි ආවේ?”

“ඇයි දුව මොකක්ද හදිස්සිය? හදිස්සියේ ම නො කියා ම ආවෙ...?”

“නො කියා ම ආවේ නො කියා ම බැරි දෙයක් කියලා යන්න” යි මා කියන්නේ කෝපයෙන් දැවෙමිනි.

“ඇත්තට මොකක්ද මේ මිනිස්සු කියන කතාව?”

අසුරු සැණක් තුළ තාත්තාගේ මුහුණේ සිනාව වියැකී යයි. නිවට නියාළු බයාදු ස්වරූපයක් එහි මතු ව නැඟෙයි. ඒ දෑස් විළියෙන් හැකිළෙනු දකින මගේ සිතට කාන්දුවන්නේ කුරිරු සතුටකි. ක්ෂණයකින් තාත්තට මගේ ඉඟිය සන්නිවේදනය වූයේ ඒ ඕපාදූපය සත්‍යයක් ම වන නිසා ය.

“අර වල් ගෑනි විමලාවතී ගැන මිනිස්සු කියන කතා ඇත්තද? තාත්තට ලැජ්ජ නැද්ද? ඊටත් තාත්ත දැන් සීය කෙනෙක්. තාත්තගේ දරුවෝ මුනුබුරෝ පාරේ බැහැල යන්න ඕන නේද?

සෝපාව මතට තාත්තා ඇද වැටුණේ ද? ඔහු එහි හිඳගත්තේ දැයි මම හරිහැටි නො දුටුවෙමි. කෝපය නිසා ම මතුව නැඟුණු කඳුළින් මගේ දෑස් බොඳව තිබිණි. දෙනෙත් පිසදා බලද්දී මා දුටුවේ තාත්තා නිහඬව සිමෙන්ති පොළොව දෙස බලාසිටින අයුරු ය.

අනතුරු ව ඒ බැල්ම මඳක් ඉහළට විහිදී යද්දී ඒවා කඳුළින් බොඳ වී තිබෙනු මම දුටුවෙමි. වෙවුලා ගිය තාත්තාගේ දෙතොලින් දුබල හඬක් පිටවූවේ ය.

“මොනවා වුණත් මගෙ දුවේ විමලාවතී වල් ගෑනියෙක් නං නෙවෙයි.”

“ඔව් එහෙම තමයි පේන්නේ. රාගයට ඇස් නැහැයි කියන්නේ ඕක නේ? ඒකි ඉනාවක් කවලා. හැබැයි තාත්ත ආයි අපි නොකිව්වයි කියන්න එපා. ඔය ගෑනි ව තාත්තා කසාද බැන්දොත් අපි ඔන්න ආයි තාත්තාගේ මරණෙටවත් නෑ.

මේ ශෝකාන්ත නාටකය දැන් අවසන් ය. එහි නපුරු දියණියගේ භූමිකාව රඟ දක්වන ලද්දේ ම විසිනි. ඒ හරියට ම මීට සත් දිනකට පෙර ය. දැන් මම එදා මෙන් ම මේ වතු නිවසේ වීදුරු ජනේලයෙන් ඈත බලා සිටිමි. මගේ මේ ආගමනය මෙදා සිදුවූයේ එදා මෙන් තාත්තාට බැණ වැදීමට හෝ නින්දා පරිභව කිරීමට නොවේ.

යතුරු කැරැල්ලක් අතැති ව සිටින අන්තෝනි ගල්පඩිපෙළ නැඟගෙන එන්නේ නිල නිවාසයේ කාමර වසා දැමීමට විය යුතු ය.

“සේර් එදා කෑමට ආවයින් පස්සේ ආපහු ගියේ නෑ. මාන්සි කියල කාමරේ බුදියගෙන උන්නා. කෙඳිරි ගානව ඇහුණා. උදේ දොරට තට්ටු කළාට දොර ඇරියේ නෑ. ලොකු සේර් ඇවිත් දොර කැඩුවේ එතකොට... මුරුගා... සේර් හිටියේ බුදියගෙන වගේ.”

අන්තෝනිගේ මේ ශෝකාලාපය මා අසා සිටින්නේ තුන්වන හෝ හතරවන වරට ය. මම ඒ හැඟීම් විරහිත මුහුණ දෙස බලා සිටිමි. එහි ශෝකයක් සටහන්ව ඇති බවක් මට නො පෙනේ. නැතහොත් කිසිදු හැඟීමක් පළ කිරීමට තරම් වන ලේ මස් ප‍්‍රමාණයක් ඒ මුහුණේ ඉතිරි ව නැත.

“ඉතිං උඹට ටිකක් හොයල බලන්න තිබුණේ නැද්ද?” යි මම නො අසමි. මගේ සිත වේදනාවෙන් මැඬෙයි - තැලෙයි - මිරිකෙයි - ඇඹරෙයි. ගෙතුළින් මතුවන හේමන්තගේ මුහුණ බැලීමට තරම් වූ හෝ දිරියක් සවියක් මට නැත.

“වෙන මොකවත් නෑ. ඔක්කොම තියෙන්නේ ලට්ට ලොට්ට. තාත්තාගේ මෙසේ ලාච්චුවල වැදගැම්මකට ඇති දේකට තිබුණේ මෙච්චරයි.

මම හේමන්ත අතින් ඒ කුඩා ප්ලාස්ටික් ඇසුරුම ගතිමි. හැඳුනුම්පත ද සමඟ රබර් පටියක දැවටී ඇත්තේ තාත්තාගේ බැංකු පොත ය. මගේ සැලෙන අතැඟිලිවලින් කුඩා පොත් පිංචේ පිටු පෙරළෙයි. ඉලක්කම් සටහන් මත උකුසු දෑස් නළියයි.

හර...? බැර...? ශේෂය...?

බොඳවුණු නෙත් නිලංකාර කරන්නේ අන්තිම පිටුවේ අන්තිම පේළියේ වන අවසාන සටහන ය.

දිනය - 2008.09.30... ශේෂය රු. 700/=

ශෝකය පශ්චාත්තාපය මඩිමින් යටපත් වෙමින් පැවති වියරු කෝපය යළිත් මා තුළින් හිස ඔසවන්නට තතනයි.

හුදකලාව ජීවත් වූ තාත්තා...?

වතු රස්සාවෙන් මාසික ව රුපියල් විසි පන්දහසක පඩිපතක් අතටගත් තාත්තා...?

විමලාවතී... වෛශ්‍යාව...

බ‍්‍රවුන් පේපරයක එතූ තවත් කුමක්දෝ ඇසුරුම තුළ රැඳී තිබේ. මගේ නොදැමුණු ඇඟිලි තුඩුවලින් ඒ දවටනය ද කීතු කීතු වෙයි.

ළමා ඉතුරුම් ගිණුම් පොත්...?

“සුභාෂ් මධුශංක...”

මහේෂ් අකලංක

ඇසිල්ලෙන් ඇසිල්ලට මගේ මනෝභාවයන් විවිධ වර්ණ ගැන්වෙන්නේ චිත‍්‍රපටයක ක්ෂණික ඡේදන මෙනි. මා තුළ නැඟෙන චකිතය හා බිය, අවතාරයකට ටෝච් එළියක් එල්ල කරන්නකුගේ වැනි ය.

ළමා ඉතුරුම් ගුණුමකට මාසිකව එක්වී ඇති මුදල රු. 10,000/=

එකතුව රු. 20,000/=

ශේෂය...?

මා හඬා වැටෙන්නේ ‘බුදුපුතේ’ යි කියා ය. එහෙත් මා කිව යුතු වන්නේ ‘බුදු තාත්තේ’ යනුවෙනි.

“දැන් ඉතිං අඬල දොඩල වැඩක් නෑ.”

හේමන්ත මා අමතන්නේ කොහේ සිට ද? මට හැඟෙන්නේ එය පිට සක්වලින් පිටවන හඬක් ලෙස ය.

“කෝකටත් යන්න ඉස්සර ඔයත් ඇවිත් තාත්තගෙ කාමරේ ටිකක් බලන්න. මට නොපේන දේවලුත් පේන්නෙ ඔයාටනේ?”

ආනන්තරිය පාප කර්මයකට අනියම් වරදකරුවකු වූවෙක් යමරජු අබියසට දක්කාගෙන යන්නාක් මෙන් හේමන්ත මා කැඳවාගෙන යන්නේ තාත්තාගේ කාමරයට ය. තාත්තාගේ ලියන මේසය, කන්නාඩි මේසය, නිදන ඇඳ හා පොත් රාක්කය, ශෝකී පාළුව උළුප්පමින් ගැඹුරු නිද්‍රාවකට වැටී සිටී.

විමලාවතී සුදෝසුදු ඇඳුමින් සැරසී සුදු මදුරු දැලෙහි එල්ලී ඔංචිලි පදිමින් ඔලොක්කු සිනාවක් පාන්නේ මා වෙත ය. ඇය වෛශ්‍යාවක නොවන බව දැන් මම දනිමි. අකාලයේ සැමියා මිය යාම නිසා කනවැන්දුම් වූ විමලාවතී ජීවිකාව සඳහා වතුයායේ සේවකයන්ට දවල් බත සැපයූවා පමණි. එදා මෙදා තුර තාත්තාගේ කුසගිනි නිවා ලූ ඇය ඒ බත්පතට ඉනාවක් නොයෙදූ බව දැන් මට අතැඹුලකි. මගේ මුලාව පිළිබඳ හිරු එළියක් වැනි සුපැහැදිලි හැඟීමක් මගේ සිතට කාන්දු වෙමින් පවතී.

“එහෙනං අපි යමු ඉතින්? තව ඉතින් බලන්න දෙයක් නෑ නේ?”

මම නවාගත් හිසින් යුතුව හේමන්ත පසුපසින් ගමන් ගනිමි. දෙපස පාත්තිවල පිපුණු ඩේලියා මල්, බාබන්ඩේසියා මල් හේබායමින් තිබේ. පින්නෙන් තෙත්කැවුණ වින්ඩ්ස්කී‍්‍රනය පිස දමන හේමන්තට පිටුපා මා බලා සිටින්නේ වසා දැමූ වතු නිවාසය දෙස ය. ගුඪ අඳුරක් තැවරුණ අම්බලමක් වැනි වූ මෙහි තාත්තා ගෙවා දැමූ හුදකලා දිවිය කෙබඳු වූයේ ද?

නිවසේ ජනේල වසා දමා වාහනය අසලට පැමිණි අන්තෝනි අප නික්ම යනතුරු බලා සිටින්නේ ගේට්ටු ඉබ්බාගේ කට වසන්නට ය. හේමන්ත නිහඬව ම රිය පණ ගන්වයි. තේ වතුයාය මැදින් වැටුණු පටු පාර ඔස්සේ අපි පල්ලම බසිමින් සිටිමු. පිටත පරිසරය වසාගත් මීදුම හදවතට ද කාන්දු වී සිතුවිලි බොඳ කරමින් තිබේ. බෑවුමේ වන ලැයිම් නිවාස පද්ධතියේ වහල් තල හිරු රැස් වැටීමෙන් රිදී කඳක් සේ දිදුලයි.

ඒවායේ දුම් කවුළුවලින් දුම් පිටවෙන්නේ දවල් බත ඉදෙන නිසා විය යුතු ය... දුම් පිට නොකරන කොනේ ම නිවාසයේ වහල මත ලෙළදෙන්නේ සුදු කොඩියකි. එහි දුම් කවුළුව හිස් ය. නිසැකයෙන් ම එහි වෙසෙන්නේ විමලාවතී විය යුතු ය. කඳුළු පටලයකින් වැසුණු මගේ දෑස් නො පෙනී යමින් ඇතත් චිත්තාවේග තීව‍්‍ර ලෙස මතුව නැඟෙයි.

“නෑ තාත්තේ නෑ” යි මම වා මඬලට කොඳුරමි.

“තාත්තා මට සමාවෙන්න. විමලාවතී වේස ගෑනියෙක් නෙවෙයි.”

https://archives.silumina.lk/punkalasa/20090201/_art.asp?fn=ar0902012


Nihal Ananda

unread,
May 1, 2024, 4:05:27 AMMay 1
to INDRAKA group
මගහැරුණු දූපත්- ප්‍රභාත් ජයසිංහ

සිංහල කෙටිකතාවේ බෙහෙවින්ම අගය කළ යුතු දායකත්වයන් වැඩි වශයෙන්ම දක්නට ලැබෙනා අවධියක් ලෙස පසුගිය දශකයෙන් ඇරඹි කාලය සැලකිය හැකිය. එහිදී කෙටිකතාවෙහි අන්තර්ගතය මෙන්ම ආකෘතියද සම්බන්ධයෙන් අත්හදාබැලීම් කරමින් කෙටිකතා කලාවෙහි සිය සන්නාමය සටහන් කළ නිර්මාණකරුවන් සහ නිර්මාණකාරියන් ගණනාවකි. ප්‍රභාත් ජයසිංහ අයත් වනුයේ මේ කණ්ඩායමෙහි ඉහලින්ම කැපී පෙනෙනා කෙටිකතාකරුවන් අතරටය. සිය සමකාලීන අනෙක් කෙටිකතාකරුවා වන ලිනයගේ අමරකීර්ති මෙන්ම ප්‍රභාත් ද ලිවීම නොව ලියන ආකාරය කෙරේ විමසිලිමත් වන්නට පාඨක උනන්දුව අවුළුවන අයුරින් ලියන්නට සමතෙක් බව  කිව යුතුය.

ප්‍රකට ලේඛක ඉෂාක් බෂෙවිස් සිංගර් තම කෙටිකතා එකතුවක පෙරවදනේ මෙසේ අදහසක් පල කරයි. 


'"............වර්තමානයේ කෙටිකතාවට පොදු පිලිගැනීමක් නොමැති වුවද මම එය නිර්මාණශීලී ලේඛකයා හට උපරිම මට්ටමින් අභියෝගයක් වන්නේ යයි තවමත් විශ්වාස කරමි. දීර්ඝව කෙරෙන ප්‍රස්තුතයෙන් පිට පැනීම් සහ අතීතාවලෝකනයන් සහ ලිහිල් ගොඩනැංවීම් උකහා ගන්නට, වෙනකක් තබා ඒ ඉවසන්නට හැකියාව ඇති නවකතාව මෙන් නොව කෙටිකතාව කෙලින්ම එහි කූඨප්‍රාප්තිය ඉලක්ක කළ යුතුය. එසේම එය කිසි විටෙක බි‍ඳී නොයනා ලෙස ආතතිය සහ සංශයතාව පවත්වා ගත යුතුය. තවද එහි සාරය විය යුත්තේ ලුහුඬුබවයි. කෙටිකතාවකට අනිවාර්යයෙන්ම නිශ්චිත සැලසුමක් තිබිය යුතුය. කෙසේවත් එය සාහිත්‍ය  ප්‍රලාපයන්හී කියැවෙන පරිදි පීවිතයෙන් පෙත්තක් විය නොහැකිය. කෙටිකතා කලාවෙහි සුරුවන් වූ චෙකෝෆ් සහ මෝපසාන්ට් මෙන්ම උත්පත්ති කතාවෙහි එන ජෝශප්ගේ කතාවෙහි උත්කෘෂ්ඨ ධර්මාචාර්යවරයාද තමන් යන්නේ කොතනටදැයි මනාව දැන සිටියෝය. එහෙයින් යමකු හට කම්මැලිකමකින් තොරව ඒවා යළි යළි කියවිය හැකිය. පොදුවේ ගත් කළ ප්‍රබන්ධය කිසි විටෙක හෝ විශ්ලේෂී නොවිය යුතුය. සත්‍ය  වශයෙන් ගත් කල ප්‍රබන්ධ රචකයා මනෝවිද්‍යාව සහ එහි නෙක අදහස් තම ප්‍රබන්ධයට කවන්නට පවා තැත් නොදැරිය යුතුය. අව්‍යාජ සාහිත්‍යය යමක් දන්වා සිටින අතරම වින්දනයද ලබාදෙයි. එසේම එය සුපැහැදිලි සහ විචක්ෂණ මෙන්ම ගැඹුරු විය යුතුය. එයට අහම්බය අරමුණ සමග බද්ධ කිරීමට මෙන්ම සැකය විශ්වාසය සමග , ශාරීරික ලාලසාව ආත්මයේ ප්‍රාර්ථනාවන් සමග මුහු කරන්නට හැකි මායා බලයක් තිබේ. එය අද්විතීයය, එපරිදිම පොදුය, ජාතික වන තරමටම විශ්වීයය, තාත්වික වන තරමටම ගුප්ත ය. එය අන් අයගේ විවරණයන් ඉවසන අතරම කිසිවිටෙක හෝ ස්වයං විස්තර කිරීමට තැත් නොකල යුතුය. මේ පැහැදිලි සත්‍යයන් අවධාරණය කළ යුත්තේ ව්‍යාජ විවේචනයන් සහ ව්‍යාජ නිර්මාණශීලීත්වය අපේ පරම්පරාව තුළ සාහිත විස්මෘතියක් නිර්මාණය කර ඇති හෙයිනි. පණිවුඩ සැපයීම කෙරේ වන උද්යෝගය මගින් බොහෝ ලේඛකයන් හට කතන්දර කීම යනු කලාත්මක ගද්‍ය රචනයේ පැවැත්මේ මූලික සාධකය බව අමතක කරවයි...... "
 

Nissanka Rajapaksa

unread,
May 1, 2024, 7:46:17 PMMay 1
to INDRAKA group
30
කොලුවාගේ සින්දුව

පරාක‍්‍රම කොඩිතුවක්කු

කොලුවා මට මුණගැසුණේ මා කොළඹ යමින් සිටි දවසක ය. පුවක්පිටිය පසු වී, පාරට මායිම් ව විහිදෙන රබර් යාය පසු වී හමුවන සාලාව නැවතුම් පොළෙන් කොලුවා බසයට ගොඩවත් ම මගේ ඇස ගැසුණේ ඔහු ට‍්‍ර...ම්...බ්... ට‍්‍ර...ම්...බ් යන හඬකින් කුඩා අත් රබානක් අඬවමින් ම ඇතුළු වූ නිසා ය.

... මම දුප්පත් ළමයෙක්... තාත්තයි මමයි ජීවත් වෙන්නෙ. තාත්තා ඔත්පලයි. මහත්තුරු මට සහයෝගයක් දෙන්න. මම ගායනා කරන්නෙ ජනපි‍්‍රය ගායක ජෝතිගේ සිංදු...

අතෙකින් රබාන සොලවමින් ද අතෙකින් ඊට තාලයකට තට්ටු කරමින් ද කොලුවා සිංදුව කියන්නට විය. ඔහුගේ තියුණු කට හඬට කවුරුත් සවන් දෙනු පෙනුණි.

ඔ බ නි ද න් න...ඔ බ නි ද න් න
සු වෙ න් සැ ත පි ලා
ඉ හ ඉ ද් ද ර ම ම ඉ න් න ම්
ප ව න් ස ල ස ලා

ගීතයේ න් – ම් – ආ යන ස්වර ස්ථාන ඔප් නංවමින් ගයන්නට කොලුවා සමත් විය. ගීතයේ වඩාත් උච්ච කොටස් කොලුවා නාදයකට නංවන සිප් නුවණ ඔහු ලැබුවේ කෙසේද?

අ පේ ලො ව ට න වෝ ද යේ එ ළි ය පා ද නා
අ ලු ත් ඉ ර ක් පා ය නු ඇ ත හෙ ට උ දෑ ස නේ

ඔහු ගායනා කළේ පෙණහැල්ලෙන් එන සුසුම් හඬ මුසු ජෝතිගේ ගායන ලීලයට බොහෝ සමානව ම ය. එහිදී ඇස් මඳක් පියාගෙන හිස ඇලකර ගනිමින් ඔහු ගැයුවේ කිසියම් ආවේසයකින් මෙන් ය. ඇඳ සිටි ටී ෂර්ටයත් කොට කලිසමත් මඳක් කිලිටි වුව ද කොලුවාගේ මුහුණ ඉතා පිරිසිදු විය. කොණ්ඩය රැලි සහිතව පීරා තිබිණ. පහේ දහයේ රුපියල් රබානට එකතු විය. ඉදිරි නැවතුමකින් බසින්නට සූදානම් වූයේ මගීන්ට බුදු සරණයි කියමින් ය.

කොහෙද ඉන්නෙ?

සාලාවෙ හන්දියෙ.

මා හදිසියේ ඇසූ ප‍්‍රශ්නයට ඔහු කලබලයෙන් උත්තර දුන්නේ සිනහවක් නොමැතිව ම ය.

මට දවස් දෙක තුනක් ම සිහිවූයේ සිංදු කොලුවාගේ ගැයුම් විලාසය යි. ජෝතිගේ ගීතවල පෙම්වතාගේ සුකුමාර සිත හොඳින් ප‍්‍රතිරාව නැංවෙන තැන්, ඒ තරංග තලය කොලුවා හරියට ම අල්ලා ගත් සැටි පුදුමයකි.

කීපවර සාලාව පසු කරන විට ඔහු ඇද්දැයි බැළුවෙමි. ඒ දිනවල මම ගුවන් විදුලියෙන් ‘පහන් කන්ද’ නමින් රස වින්දන වැඩ සටහනක් සම්පාදනය කරමින් සිටියෙමි. වැඩ සටහනකට කොලුවා ගෙන්වා ගන්නට හැකි නම් අසන්නන්ගේ ආස්වාදයට හේතුවනු නිසැකයැ යි මට සිතුණි.

සති අන්තයේ දවසක උදෑසනින් මා සාලාව හන්දියට ගියේ කොලුවා දවසේ බස් ගමනට යන්ට පෙර හමුවන අටියෙනි.

... අර බස්වල සිංදු කියන පොඩි ළමය? මේ හරියෙයි ඉන්නව කීවෙ.

හන්දියේ සිගරැට් බොමින් සිටි කම්කරුවන් කීප දෙනෙකුගෙන් විපරම් කළෙමි.

... සර් ඔය අහන්නෙ පුසුඹ ළමය ගැන වෙන්ඩැති.

ඔවුන් කතා කළේ සිනහවෙමින් ය.

හරි නම නම් අපි දන්නෙ නැහැ. ඔය ළමය සැන් පවුඩර් ගාන්ට රුසිය. පුසුඹ කියලයි කව්රුත් කියන්නෙ.

මිනී පෙට්ටි සාප්පුව ළඟින් හැරිල රේල් පාර දිගේ ම යන්ඩ. රිසවේසං ගෙවල් යායෙන් අහන්න.

වැඩි දුරක් නෑ.

බොහෝ විස්තර ලැබුණි.

වැඩි දුර නැතැයි කීව ද මා රේල් පාර දිගේ සැතපුමකට වඩා යන්නට ඇත. ගෙවල් පේළියක් නොව කුඩා ලෑලි මඩු කීපයක් තැන තැන බෑවුමේ අටවා තිබිණ. නම කී විට පාර අසල හිඳ සිටි ස්ති‍්‍රයක් මඳක් වේලා බලා සිට යාය ඉමේ පිහිටි ගේ කෑල්ල දෙසට අත දිගු කළා ය.

බෝක්කුව එක්ක ම අන්තිමට තිබුණු මඩුවේ දොරකඩට ම මා පල්ලම් බැස ගියේ මිදුලක් ද නොතිබුණු නිසා ය. ලෑලි කාමරේ දොර පළුව වසා තිබුණේ ය. එහි තාරවලින් 9/13 ලකුණු කර තිබුණා මතක ය.

පුසුඹා මල්ලී...

මම නම කියා කීප විටක් කතා කළෙමි. නිශ්ශබ්දය.

ගෙදර කවුරුවත් නැද්ද?

මම දොර ලෑල්ල මඳක් තල්ලු කළෙමි. කාමරයේ මුල්ලක බිම එලූ සරමක් උඩ වැතිර හුන් මිනිසා කෙළින් ම ඇතුළට වැටෙන හිරු එළිය වලකා ගනිමින් හිස මුවා කර ගෙන බලා සිටිය මුත් කතා නොකරයි.

... මේ පුසුඹ ළමය හම්බු වෙන්ට යි ආවෙ.

මහල්ලා හහ් යන හඬක් පිට කර අනිත් ඇලයට හැරී නිදාගත් ඉරියව්වෙන් ම සිටියි. ඔහුගේ දෙපතුල් මඩ පෑගී කළු ගැහී තිබුණි.

හැඩපළු ගැසුණු කෙස්ස, වල ගැසුණු කම්මුල්... ඔහු ගොරවන හඬක් පිට කරන්නේ කෝපයකින් මෙන් ය. පුටුවක් රෙදි වැලක් පමණි කාමරයෙහි ඇත්තේ.

මම දොර පළුව වසා බෑවුම දිගේ රේල් පාරට නැග ගතිමි. රේල් පාර මුදුනේ කලිසම්කාරයෙක් නැවතී සිටියේ ය.

බලා සිටියේ විපරම් ඇසකිනි. කලිසම උඩින් ආරිය සිංහල කමිසයක් දමාගෙන සිටි ඔහු රබර් සෙරෙප්පු පයලාගෙන සිටියේ ය.

මහත්තයා කාවද බලන්නෙ?

... මේ ගෙදර අර සිංදු කියන ළමය. බස්වල සිංදු කියන්නෙ.

ඇයිද දන්නෙ නැහැ මහත්තය හොයන්නෙ?

... ගීත ගායනයට ඔය ළමයගෙ පුදුම හැකියාවක්නෙ තියෙන්නෙ. බස්සෙකේදියි මම සිංදු කියනව දැක්කෙ.

අමුත්තා මා දෙස බලාගෙන ම සිටියි.

ඉතින්.... මම හිතුව ළමය ව ගුවන් විදුලියට එක්ක ගිහින් සිංදු ටිකක් කියවන්න. රටට හඳුන්වල දෙන්න.

අමුත්තා මට ළංවී සෙමෙන් කතා කළේ තොල් පෙරළමිනි.

.... මේ මහත්තෙය... මම එකක් කියන්නම්. තරහ වෙන්ඩ එපා. ඕකෙන් වෙන්නෙ ඔය ළමය ව විකුණන එකයි. එයාට පාඩුවෙ ඉන්ඩ දෙන්ඩ මහත්තය. ඔය වැඩවලින් වන සුගතියක් නැහැ.

මට කිසිවක් කියාගත නොහැකි විය. මම රේල් පාර දිගේ යන්නට වුනෙමි. ටික දුරක් යත් ම කොලුවා එනු පෙනුණේ ය. අයිස් පැකැට්ටුවක් උරමින් ඔහු දුර සිට ම සිනාසුණේ මා හඳුනාගෙන ය.

මාව මතකද?

එදා බස්සෙකේ දී කතා කළේ සර් නේද?

කොහේද ගියේ?

මොනව හරි කන්ඩ කඩේට ගියා.

කඩෙන්ද කන්නෙ?

ඔව්.

මම ගෙදරට ගියා. කවුද නිදාගෙන හිටිය. කතා කළේ නැහැ.

ඔව් සර්... ඔය අපේ තාත්තා. හැමදාම ඔහොමයි. රෑට බොනවා. දවල් වෙනකම් බුදියනව. සර් ආවෙ?

අපි යමුද හංදියට ටිකක් කතා කර කර.

ගමනේ දී මම ඔහුට කාරණය කීවෙමි. ඔහු කැමැති විය.

මම නං රේඩියෝ සිලෝන් දන්නෙ නෑ. මහත්තය එක්ක යනව නම් මං එන්නං.

ඉතින් දැන් සිංදුවක් කියන්ඩ බැරිද?

දැන්? මෙතන? රබානත් නැහැනෙ.

කමක් නෑ කියන්ඩ.

ඔහු දෙතුන් විටක් පිටි අල්ලෙන් කට පිසදා ගෙන සීරුවෙන් පියවර තබමින් ම ගායනා කරන්නට විය.

.... ච න් ද න ඇ ල් ලෙ න් නා ලා
ච න් ද න ම ල් මී ගා ලා
සැං ගු ණ බ ඹ රා ආ වා
ල ස් ස න ර හ ස ක් කී වා

ගැයුම ඉහළට යන විට ඔහු සුපුරුදු විලාසයෙන් ම ජෝතිගේ ස්වර නාඩිය අල්ලා ගනියි.

... අ පේ ලො ව ට න වෝ ද යේ එ ළි ය පා ද නා
අ ලු ත් ඉ ර ක් පා ය නු ඇ ත හෙ ට උ දෑ ස නේ

නවෝදයේ - පායනු ඇත – උදෑසනේ යන ගී පද කොලුවා නියමිත තැන දී ලෙලවා ඔප් නංවයි.

සාලාව හන්දියට පැමිණි විට ගුවන්විදුලියට යන දවසත් වේලාවත් මම කතිකාකර ගතිමි. මා දුන් සුළු මුදලින් ඔහු කඩෙන් ඉඳිආප්ප මුලක් ගත්තේ ය. තාත්තට...

නියමිත දවසේ මම උදෙන් ම සාලාව හන්දියට පැමිණියේ කොලුවා හමුවීමට ය. දහවල් 1 සිට 3 දක්වා වැඩසටහන සඳහා ගුවන්විදුලියේ ස්ටූඩියෝව වෙන්කර ගෙන සිටි මම වැඩසටහන අලුත් මාදිලියකට සැලසුම් කොටගෙන සිටියෙමි.

උදේ 7 සිට ම හන්දියේ මගේ පරණ කාරෙක නවතා ගෙන බලා හුන්නෙමි. කොලුවා ආවේ නැත. මම රථය අයින් කොට නවතා ළමයා බලන්නට යාමට තීරණය කළෙමි. රේල් පාර දිගේ ම රිසවේසම් කෑල්ලට ගියෙමි. පුසුඹා ළමයාගේ ගෙදරට යන විට මා දුටුවේ ගෙයි ලෑලි බිත්ති තැනින් තැන පිළිස්සී කළු පැහැ ගැන්වී ඇති බව ය. අලුතින් වහලය සෙවිලි කොට තිබුණි. දොර ලෑල්ල අඩක් හැරදමා තිබුණෙන් මම ගෙතුළට එබී බැලීමි. කොලුවා පුටුවට වී පාන් කෑල්ලක් කෙසෙල් ගෙඩියක් කමින් සිටියේ ය.

ආ... සර්

ඔහු මා දැක පුටු කබලෙන් නැගී සිටියේ ය.

මං බලාගෙන හිටියනෙ. ඇයි ආවෙ නැත්තෙ?

ඔහු අතක් පා මට හිඳ ගන්නට කීවේය.

... මහත්තයා පෙරේදා තාත්තා මැරුණ. සුරුට්ටුවට සරම ඇවිලිලා. මහ දවල් වෙරිමරගාතෙ පැදුරෙ ම පිච්චිලා. ගේත් ගිනි අරං. එදාමයි මිනිය වල දැම්මේ.

...දැං ඔය ළමය මොකක්ද කරන්නෙ?

ගමේ මිනිස්සු ගෙයි වහලෙ හදල දුන්න. මං ඉතින් වෙන මොනව කරන්ඩද? සිංදුවක් කියල කඩෙන් මොනව හරි කාල ඉන්නව මිසක්ක.

කොලුවා බිම පඩියක හිඳ ගත්තේ කතා කරන්නට සූදානමකින් මෙනි. බිම තිබුණ ලෑලි පළුවක් පිට පියර පෙට්ටියක් සුවඳ සබන් කැටයක් පනාවක් බුරුසුවක් කුඩා සුවඳ බඳුනක් පේළියට තබා තිබුණේය .

.... තාත්තව බලා ගත්තෙත් ඔය ළමයද?

කියල වැඩක් නෑ සර්.

හිස හොඳින් පැත්තට පීරා පියර දැමූ ඔහුගේ මුහුණේ කම්පාවක් නැත.

මං පුංචි කාලෙ ම අම්මව පන්නගෙන. දවස ම කසිප්පු බීල ඉන්නෙ. සිංදුවක් කියන්ඩ බස්වලට යනවටත් බණිනව. ඒත් ගෙදර ආපු විනාඩියට රුපියල් 50 ක් ඉල්ලගෙන කඩේට ගිහින් කනව. කියල වැඩක් නෑ. දැං මට දෙයියනේ කියල ඉන්ඩ පුළුවන්.

මා ඇහුම්කන් දෙන බැවින් කොලුවා තවත් කතා කරයි.

... උන්දෑ කසිප්පු බොන්නෙත් මගෙන් සල්ලි උදුරගෙන. බීල නිදාගන්න කොට මගේ ඇඟට කකුල් දෙක දාගන්ඩ ඕනෑ. මට හරිහැටි නින්දක් නැහැ. මගේ ඇඟ පුරාම නියපොතු පාරවල්... උන්දෑ ඔහොම ගිය එකෙන් මම බේරුණා.

ඔහුට බොහෝ පුද්ගලික දේවල් මා සමඟ කියන්නට ඇතැයි මට හැඟිණ.

... ඉතින් දැන් හුඟක් සිංදු කියන්න පුළුවන්නෙ.

නෑ මහත්තෙය. මම දුකෙන් තමයි සිංදු කිව්වෙ. මගේ ඇස්වලට කඳුළු එන කොටයි සිංදු කියවෙන්නෙ. දැං කියන්ට හිතක් නෑ. ඒත් ඉතිං බස්වලට යන්ට වෙනව...

සුළු මුදලක් අත තබා කොලුවාට ගෙදර ඉන්ට හැර මම ආපසු ආවෙමි.

(රෝසමලේ හදවත කෙටිකතා සංග‍්‍රහයෙනි)

https://archives.silumina.lk/punkalasa/20090215/_art.asp?fn=ar0902152

Nissanka Rajapaksa

unread,
May 2, 2024, 7:03:25 PMMay 2
to INDRAKA group
31
බද්ධ වෛරය 

බොබී ජී. බොතේජු

ඈත බල්ලන් බුරන හඬ ඇසේ. නොපැහැදිලි යමක් කියමින් කෑ ගසන ගැහැනියක ගේ හඬ ඔහු ගේ සවනත වැකිණ.

’මම කිට්ටුවටම ඇවිත්’ යැයි සිතූ හෙතෙම තම අත බැඳි ඔරලෝසුව දෙස බැලුවේ ය. මධ්‍යම රාති‍්‍රයට තවත් මිනිත්තු පහළොවක පමණ කාලයක් ඇත. ඔහුට තවත් කල්වේලා ඇත.

පල්ලියේ සීනු හඬ ඇසේ. පූජකවරුන් තම සේවකයන් සහ රැස් ව සිටින බැතිමතුන් ගේ ගීතිකා හඬ මිහිර සංගීත රාවය සමඟ මුසු ව ඔහු ගේ සවනේ රොක්වන්නට විය.

පූජාව ආරම්භ වීමට තවත් කල්වේලා ඇති බව හේ දැන සිටියේ ය. ඒ පාස්කු රාති‍්‍රය යි. හතළිස් දවසක දීර්ඝ උපවාස කාලය එදින රාති‍්‍ර 2.30 න් පසු එනම් පූජාව අවසානයේ අවසන් වීමට නියමිත ය.

සඳ ඇති රාති‍්‍රය උණුසුම් ය. තාරකා දීප්තිමත් ව බැබැළෙයි. රාති‍්‍ර කාලයේ ඇවිදීමට පුරුදු ව සිටි හේ කඩිසර ගමනින් ගමන් කළේ ය. තම දෙපා ගැන ස්ථිර විශ්වාසයකින් යුතුව ගමන් කළේ ය. ඔහු ගේ පියවර සැහැල්ලු විය.

ඔහු මේ ස්ථානයට පැමිණ ඇත්තේ මීට බොහෝ කලකට පෙර යි. එහෙත් විශාල වෘක්ෂය දුටු විට තමාට වැරැදී නැති බව ඔහුට අවබෝධ විය. වමට හැරුණ හෙතෙම පැල්පත් කීපයක් පසු කොට යළි දකුණු පැත්තට යන පාරට පිවිසියේ ය.

අනෙක් පැල්පත්වලට තරමක් දුරින් ඔහු ගේ අරමුණ වූ පැල්පත පිහිටා ඇත. ඔහුට මතක හැටියට එය විශාල අබලන් නිවසකි. එහි බිත්තිවල තැනින් තැන පතුරු ගැලවී ඇත. වහලය උඩ තිරිඟු ගොඩ ගසා ඇත.

”සුභ සන්ධ්‍යාවක්!” හේ පැල්පත ඇමතුවේ ය. ඔහු ගේ කටහඩින් නිහඬතාව බිඳී ගියේ ය.

යාන්තමින් දැල්වෙන ආලෝකයකින් නිවසේ අඳුර අඩක් දුරු වී තිබිණ. දොරට පිටුපසින් කිසිවකු ඇඳේ පෙරළෙන හඬ ඔහුට ඇසිණ.

”දෙවියන්ට ස්තුති වේවා! ඇතුළට එන්න.” පිරිමි කටහඬක් ඇසිණ.

හේ නිවසට ඇතුළු විය. “සුබ සන්ධ්‍යාවක්” හෙතෙම නැවත වරක් ප‍්‍රාර්ථනා කළේ ය.

ඇඳ උඩ සිටි තැනැත්තා රාති‍්‍රයේ උණුසුම සහ නිවස තුළ වූ උණුසුම ගැන නොතකා ඝනකම් කම්බිලියක් පොරවාගෙන සිටියේ ය. කෙසඟ සිරුරකින් යුතු වූ හෙතෙම රැවුළ බා නො තිබිණ. හිස් කබලක මෙන් ඔහු ගේ මුහුණේ ඇට පෑදී ඇත. මරණයට ආසන්න ව සිටින කෙනකු ගේ පෙනුමක් ඔහු කෙරෙන් දෘශ්‍යමාන විය.

”සුබ සන්ධ්‍යාවක් මහත්මයා, කරුණාකරල වාඩිවෙන්න.” හේ දුබල හඬකින් පැවසුවේ ය.

අනතුරු ව හෙතෙම නොකඩවා කහින්නට පටන් ගත්තේ ය. දරුණු කැස්සෙන් ඔහු ගේ මුළු සිරුර ම වෙව්ලයි. අමුත්තා ගිනි මැලය අසල මැටියෙන් තැනූ මීඩෙබි අසුන මත වාඩි ගත්තේ ය.

”ඔහෙට දරුණු කැස්සක් තිබෙන බවයි පේන්නේ.” අමුත්තා පැවසුවේ ය.

”මේක මාරාන්තිකයි. මාස හතරක් තිස්සෙ ම මම දැන් ඇඳට වැටිලයි ඉන්නෙ.” රෝගී මිනිසා පැවසුවේ ය.

”දොස්තරල නැහැ? බෙහෙත් නැහැ?”

”මේ වගෙ ගමක දොස්තරල හොයන්නෙ කොහෙන්ද මහත්තයා”

අනුකම්පාවේ සලකුණක් ලෙස අමුත්තා හිස සැලුවේ ය.

”ඔබට දේව පිහිට ලැබේවා!” හේ පැවසුවේ ය.

”ආමේන්.!” රෝගියා ප‍්‍රතිචාර දැක්වූවේ ය.

”රෑ මේ වෙලාවේ කොහෙ යන ගමන් ද?”

”මම මේ ගම පහු කරගෙන යනවා. මට මහන්සි දැනුණ නිසා ටිකක් විවේක ගන්න හිතුවා. දොර ඇරල තිබුණ එකම නිවස මේකයි.” අමුත්තා පැවසුවේ ය.

”අනිත් ඔක්කොමල පල්ලි ගිහිල්ල.” රෝගියා කී ය. “මගෙ ගෑනිත් ගිහිල්ල පාස්කු පූජාවට සහභාගි වෙන්න. බැරිම මම විතරක් ඇඳට වෙලා ඉන්නව.”

”ඔහෙගෙ අමාරුව දෙවියන්ට වැටහෙනවා.” අමුත්තා සානුකම්පිත ස්වරයෙන් පැවසුවේ ය.

”දැන් ඔහුගේ ඇස් නිවස තුළ වූ දුර්වල ආලෝකයට හුරු වී ඇත. හේ තමා අවට බැලුවේ ය. රෝගී මිනිසා ගේ ඇඳට උඩින් එල්ලා ඇති රයිපලය වෙත ඔහු ගේ දෙනෙත් යොමු විය. ස්වයංකී‍්‍රය රයිපලයක් – පතරොම් විස්සක් – රුසියාවේ නිෂ්පාදනයකි. “ඇත්තටම අපේ රයිපලයක්!” අමුත්තා තමාටම කියා ගත්තේ ය. රෝගි මිනිසාට එරෙහි ව තමා තුළ නැඟ එන වෛරයට හේ ද්වේශ කළේ ය.

”ඔහෙත් අපිත් එක්ක උපවාසය ඉවර කරන්න නවතින්නෙ නැත්තෙ ඇයි?” රෝගි මිනිසා ආරාධනා කළේ ය.

”මගෙ ගෑනි මාළු හැදුවා. තව කේජුත් තියෙනවා. බීමට ටෙල්ලා. (දේශීය මත්පැන් වර්ගයක නමක්) තියෙනවා.”

”නැහැ ස්තුතියි.” අමුත්තා පැවසුවේ ය. මට දැන් පිටත්වෙන්න ඕනෙ. මම මගෙ සහෝදරයෙක්ව හොයනවා. එයා අතුරුදහන් වෙලා අවුරුද්දකටත් වැඩියි.”

”ආ... කොහොමද අතුරුදන් වුණේ? කොහෙදිද?”

”එයා ගරිල්ලන්ට එකතු වෙන්න ගෙදරින් පැනල ගියා. අපට දැන ගන්න ලැබුණා ගරිල්ලන් මේ පළාත අත ඇරල යනකොට එයත් ගරිල්ල කණ්ඩායමක් එක්කම ගියයි කියල. ඊට පස්සෙත් අපට ආරංචි වුණා.

එයා ගරිල්ලන් කණ්ඩායමක් එක්ක හිටියයි කියල. ඒත් ඊට ටික කලකට පස්සෙ එයා ගැන මොනවත්ම දැන ගන්න ලැබුණෙ නැහැ. කිසිම ආරංචියක් ලැබුණෙ නැහැ.”

”සමහරවිට එයා ආණ්ඩුව පැත්තට යන්න ඇති.” රෝගියා පැවසුවේ ය.

”සමහරු එහෙම කළා ඔහෙ දන්නවද?”

”නගරෙ ඉන්න නෑදෑයන්ගෙන් මම අහල බැලුව. ඒ අය කිව්වා එයා ආණ්ඩුවට සම්බන්ධ වුණේ නැහැ කියල. ගරිල්ලන් එක්ක හිටපු තවත් යාළුවෙක් කිව්වා මගෙ සහෝදරයව විශේෂ කාරණයක් සඳහා යැව්වලු. ඊට පස්සෙ ආපහු ඇවිත් කණ්ඩායමට එකතු වුණේ නැතිලු.”

”දෙවියන් වහන්සෙගෙ හැටි පුදුමයි. දෙවියන් මට සමාව දේවි. මම ඔබව කලබල කරන්න කැමැති නැහැ. එයා මැරිල ද?”

”ඒ වගෙ තමයි. හොයා ගන්න බැහැ.” අමුත්තා කීවේ ය. අනතුරු ව හෙතෙම රෝගි මිනිසා දෙස පරීක්ෂාවෙන් බැලුවේ ය. රෝගී මිනිසා ද ඔහුව සමීප ව නිරීක්ෂණය කිරීමට උත්සාහ කළේ ය. රෝගී මිනිසා තිගැස්සුණ බව අමුත්තාට දැනිණ. එහෙත් එය ඔහු ගේ සිත තුළ හටගත් මායාවක් විය හැකි ය.

”මේ අහල පහළ ගම් සේරගෙම මම හොයල බැලුව. මම මේ ගමේ බලල ඊළඟ ගමට යනවා. ඊට පස්සෙ සෙවිල්ල අත ඇරල දානවා. එයාගෙ අම්ම තමයි මට හරියට කරදර කරන්නෙ. එයාට තමාගෙ පුතා ඇත්තටම මැරිලද කියල දැන ගන්න ඕනෙ වෙලා තියෙනවා. එතකොට එයාගෙ ආත්මය වෙනුවෙන් අවසාන පූජාව තියන්න පුළුවනි.

”දුප්පත් ගෑනි. අපි හරිම භයානක කාලයකයි ජීවත් වෙන්නෙ.” රෝගී මිනිසා පැවසුවේ ය.

”ගරිල්ලො එයාව දමල ගිහිල්ල තියෙන්නෙ තවත් ගොවියෙක් එක්ක. ඒත් මට තාම බැරිවුණා ඒ ගොවියව හොයා ගන්න.” හෙතෙම පැවසුවේ ය. රෝගි මිනිසා ගේ ඇස් හදිසියේ ම පියැවෙනු දැකීමෙන් හේ සලිත විය.

මිනිත්තු කිහිපයක් නිහඬ ව සිටි හේ අනතුරු ව තම කතාව ඇරැඹී ය. “එයා ළඟ රයිපලයක් තිබුණා ඔහෙ ළඟ තියෙන රයිපලය වගෙ.” හේ ඇඳට ඉහළින් එල්ලා තිබූ රයිපලය පෙන්වූයේ ය. රෝගි මිනිසා තුවක්කුව දෙස බැලූ මුත් තම අත් සෙලවීමටවත් උත්සාහ නො ගත්තේ ය.

”මේ පුංචි තුවක්කුවෙන් මිනිස්සු ගොඩ දෙනෙක් මැරුවා.” රෝගී මිනිසා නොපැහැදිලි හඬකින් කී ය. “ගොඩ දෙනෙක්.”

”කනගාටුයි.” අමුත්තා වහා එකඟ විය. “මිනිස් ජීවිතය කියන්නෙ වටිනාකම නියම කරන්න බැරි දෙයක්. ඇත්තටම කනගාටුයි. ඇත්තටම වටින්නෙ මිත‍්‍රත්වයයි.”

”කෑදර අන්ධ මිනිස්සු.” රෝගියා තෙපලී ය.

”අපි මෝඩයො. ඇත්තටම අපරාධකාරයො. අපි දෙවියන් වහන්සෙගෙ නිර්මාණයක් වුණත් අපේ කෑදරකම නිසා අපට ඒ බව අමතක වෙනවා. ඒ නිසා අපි දේව නීතිය කඩ කරනවා.”

අමුත්තා අප‍්‍රසන්න ලෙස සිනාසුණේ ය.

”ඇත්තටම ඔහු මරන්න අවශ්‍ය වුණාද?” හේ ගරුසරුවක් නොදක්වාම විමසුවේ ය.

භයානක අපරාධය පිළිබඳ ව විමසීමට මැදියම් රැයේ පැමිණි අමුත්තා දෙස බලමින් රෝගී මිනිසා මඳ වෙලාවක් නිහඬ ව සිටියේ ය.”

”කිසිම මිනිහෙක්ව මරන්න ඇත්තටම අවශ්‍ය නැහැ.” අවසානයේ හෙතෙම පැවසී ය.

”මම සැක කළා ඔබගෙ සහෝදරයත් අනෙක් අය වගෙයි කියලා. මමත් අවුරුදු හතරක්ම ඒ අයත් එක්ක වැඩ කළා. මගෙ ජීවිතය පරදුවට තැබුවා. ඒත් මම කළේ මොකක්ද? මම උගතුන් මැද හිටපු සාමාන්‍ය ගොවියෙක්. ඔහු මාව හැර දමල ගියා නම් මොකද වෙන්නෙ?” මට මගෙ ගම හැරල යන්න බැහැ. එතකොට ආණ්ඩුවෙ නිලධාරින් මාව මරා දමාවි. මම කලබල වුණ බව ඔබටත් වැටහේවි. ඉතින් එක් උදෑසනක ඔහු මට කිව්වා ඔහු යනවා කියලා.

මම බැගෑපත් වෙලා කිව්ව යන්න එපයි කියල. මම ආණ්ඩුවට යටත් වුණොත් මට මුකුත් සිද්ධ වෙන්නෙ නැහැයි කියල එයා කිව්වා. මම එයාව විශ්වාස කළේ නැහැ. මම බැගෑපත් වුණා.

ඒත් එයා තදින් හිටියා. ද්‍රෝහි වුණා වගේ හැඟීමක් මට ඇති වුණා. ඉතින් මම ඔහු මරල මගෙ තුවක්කුවත් අරගෙන ගිහින් ආණ්ඩුවට බාර වුණා. ඒ අය මට ප‍්‍රශංසා කරල මගෙ තුවක්කුවත් ආපහු මටම දුන්නා.”

අමුත්තා ඒ විගස ම තමා පසුපස සඟවාගෙන තිබූ පිස්තෝලය ඉවතට ඇද රෝගී මිනිසා වෙත එල්ල කළේ ය. ඒ සමඟ ම හුනස්නින් නැඟිටි හෙතෙම රයිපලය ද අතට ගත්තේ ය. අනතුරු ව ආපසු පැමිණ අසුන් ගත්තේ ය. රෝගි මිනිසා උදාසීන ලෙස ඔහු දෙස බලා සිටියේ ය.”

”උඹත් ඉන් එක්කෙනෙක්.” එය ප‍්‍රශ්නයකට වඩා ප‍්‍රකාශයක් විය.

”ඔව්.” අමුත්තා පිළිතුරු දුන්නේ ය.

”අපි ලේවල ණය එකතු කරනවා. එකම මාපියන්ගෙන් ඉපදුණේ නැති වුණත් අපි සහෝදරයො”

”හොඳයි ඇයි ඉතින් උඹ ප‍්‍රමාද වෙන්නෙ.?” රෝගී මිනිසා විමසී ය.

”මගෙ බිරියයි, ළමයයි එන්න කලින් උඹට කරන්න තියෙන දේ කරපන්. කොහොමටත් මම මරණය බලාගෙනයි ඉන්නෙ.” ඔහු ගේ කටහඬ දුර්වල විය. තමා වෙත මරණය බියජනක ලෙස පැමිණෙන බව කලක සිට දැන සිටි අයකු මෙන් හේ සන්සුන් ව කතා කළේ ය.”

”මයිකල් හොඳ සහෝදරයෙක්. එයා උඹට  ෙද්‍රා්හි වුණේ නැහැ.” අමුත්තා කී ය. රෝගි මිනිසා හිස සැලුවේ ය.

”පූජාව ඉවර වෙන්නත් කලින් මම ආපහු ආවා.” ළමයකු පිටේ එල්ලාගෙන පැමිණි කාන්තාව තම නිවස තුළ වාඩිගෙන සිටින අමුත්තා දැක එක වර ම නතර වූවා ය. ඇගේ කටහඬ ඇසෙන තුරු ම ඇගේ පැමිණීම ඔහුට නොදැනුණ බැවින් හේ මවිත විය.

”සුබ සන්ධ්‍යාවක්.” ඕ දෙගිඩියාවෙන් බලමින් ඇතුළු වූවා ය.

”දැන් ඔයාට කොහොමද?” ඕ තම සැමියා ගෙන් ගෞරව පූර්වක ව විමසුවා ය. ඇගේ පිටේ එල්ලාගෙන සිටින දරුවා නින්දේ පසු වෙයි. රෝගියා අමුත්තා දෙස බැලුවේ ය. පිස්තෝලය සඟවා ගත් අමුත්තා රෝගියා දෙස බැලුවේ ය. එතෙක් පැවැති උණුසුම් වාතාවරණය පිළිබඳ ව කාන්තාව ගේ අවධානය යොමු වී නැත.

”ඔයා අමුත්තාට ටෙල්ලා බොන්න ආරාධනා කළේ නැද්ද?” ඕ තම ස්වාමියාට අවලාදාත්මක ස්වරූපයෙන් කියමින් ටෙල්ලා භාජනය වෙත ගියා ය.

”ස්තුතියි! මම බොන්නෙ නැහැ.” අමුත්තා පැවසුවේ ය. “ඇත්තට” ම මම මේ පිටත් වෙලා යන්නයි හිටියෙ.” හේ නැගිට රයිපලය උරහිසේ එල්ලා ගත්තේ ය.

”ඔහෙ මෙහෙ නැවතිලා අපිත් එක්ක උපවාසෙ ඉවර කරන්න ඕනෙ.” කාන්තාව කීවා ය. “මේ වෙලාවෙ මඟ ඇරල යන එක හරි නැහැ.”

”ඒත් මම අල්ලපු ගමේ කෙනෙකුට පොරොන්දු වුණා එයත් එක්ක උපවාසෙ ඉවර කරන්න එනවයි කියලා.” හේ බොරුවක් කීවේ ය.

රෝගී මිනිසා නිහඬ ව සිටියේ ය.

”හොඳයි සුබ රාති‍්‍රයක්. ඔබ සැමට සුබ පාස්කුවක් වේවා.” අමුත්තා පැවසුවේ ය.

”සුබ රාති‍්‍රයක්! සුබ පාස්කුවක්” කාන්තාව කීවා ය.

”සුබ රාති‍්‍රයක්. ස්තුතියි.” රෝගී මිනිසා කීවේ ය.

”මම මයිකල්ව ඇඳේ තියල අපේ කෑම ටික රත් කරල ගන්නම්.” පිටේ එල්ලා ගෙන සිටි දරුවා රෝගියා ගේ ඇඳ මත තබමින් ඕ කීවා ය.”

පිටත්වීමට දොරකඩට පැමිණි අමුත්තා එකවර ම නතර විය.

”මයිකල්, ඔහෙලගෙ දරුවගෙ නම මයිකල් ද?”

”ඔව්.” කාන්තාව සිනාසෙමින් පිළිතුරු දුන්නා ය. “එයාගෙ තාත්ත එයාට මේ නම දුන්නෙ අපේ කදිම තරුණ මිත‍්‍රයෙක්ව සිහිවෙන්න. එයා අවුරුද්දකට විතර කලින් අපිව අත ඇරල ගියා. එයාගෙ ගමටයි පවුලටයි එකතු වෙන්න. මට මතක නැහැ කොහෙද කියල.”

පිරිමි දෙදෙන ගේ ඇස් එකිනෙක ගැටිණ. රෝගි මිනිසා වැලපෙමින් සිටින්නේ ද යන්න අඳුර දැඩි බැවින් ඔහුට දැකිය නො හැකි විය. මියගිය සහෝදරයා ගේ තුවක්කුව පිටේ එල්ලා ගෙන පිටව යන ඔහුට රෝගී මිනිසා තමා විසින් ම නිර්මාණය කරගනු ලැබූ අපායක ජීවත් වන බව හැඟිණ.

ඔහු තම පුතු අමතන සෑම අවස්ථාවක ම තමා කළ අපරාධය සිහියට නැඟෙනු ඇත. හේ තමා ගෙන් ම පළි ගැනීමට කටයුතු කර ඇත.

ඈත පල්ලියේ සීනු නාද වනු ඇසේ. බල්ලන් බුරන හඬ ද ඇසේ. ඒ කිසිවක් නෑසුණ කලක මෙන් අමුත්තා රාති‍්‍රයේ අඳුර මැදින් ගමන් කළේ ය. ඔහු තව බොහෝ දුර යා යුතු ව ඇත.

https://archives.silumina.lk/punkalasa/20080720/_art.asp?fn=ar0807204

Nissanka Rajapaksa

unread,
May 3, 2024, 7:40:39 PMMay 3
to INDRAKA group
32
දේව දරුවෙක් 

හසිත අත්තනායක

කෑලි කැපිය හැකි ගනඳුරින් දිනය විලි වසා ගත් සේ ය. ඉඳ හිට හැමූ මඳ හුළඟින් ළපටි තුරුපත් යන්තම් නොසොල් වී සිටියා පමණකි.

ෆ්ලොරසන්ට් පහන පිටුපා යන අන්ධකාරයේ පවිටු හෙවණැලි මහී ගර්භයේ සිට අඩියේ ම මතු වී, එකෙණෙහි ම ප‍්‍රාදූර්භූත විය. අවපස ගනඳුර දුරලමින් පුරපසින් දීපාවලී සඳ පූදිමින් පැවැතිණි.

”තිලකසේන ඕෆ් වෙලා ගෙදර ගිහිං පහයි කාලට ... මං කියන්නේ පොඩ්ඩක් හිතන්න ඕනෙ නේද මිස් ...? අපි උදේ හතරෙ ඉඳං මෙතන එකම සුමේ...හුස්මක් ගන්න නෑ. ඇඳුමක් ඉවර කරන්න නෑ.

පෝලිමට වදනවා, පෝලිමට වදනවා !!!... අනික අද මේ නිවාඩු දවසෙ ... අපිටත් පවුල් නැද්ද මෙයා...? මිනිස්සු උණහම පොඩ්ඩක් හිතන්න ඕනෙ නේද මිස් ...? අනික් එක්කෙනා ඩොක්ටර් මදාරා ... රෑ නවයෙන් පස්සේ ඇහැරවන්න එපා කියලා ඊයේ ක්වාටර්ස් ගියා.. ගියා ගියාමයි .... අම්මපල්ල මේ අපේ ලෙඩ්ඩු වගෙයිනෙ හරියට ... හිතන්න ඕනා නේද මිස් - මිනිස්සු උණහම ...? මිස් හිතන්නෙ අද උදේ ඉඳං ඇඩ්මිෂන්ම කීයක් ද? ..... ඔක්කොම බකට් ... තියටර් එකටම දෙන්නයි.

දැන් ඔන්න මේ බත් කාලා- අත ගත්තා විතරයි ... ආයෙත් අලුත් ඇඩ්මිෂන් එකක් ... එයා තාම බැඳලත් නෑලු... තිලකසේන කියල තිවුණා... ටෙ‍්‍රාලියට දාන කොටම බබා හම්බු වෙන්න ඔන්න - මෙන්න කියලා. බම්බුව තමයි ... අපිට ම පව් දෙන්න මෙහාටම එනවනෙ මං අහන්නේ ... මාර බඩුවක් ... මේ දැං සින්ටො දුන්නෙ... ලේබර් එකට තව හත් ගව්වක් තියෙනවා. අහල ගං හතකට ඇහෙන්ඩ ඇති විලාපෙ. හරි හමං කසාද නං මොකොද තව ...? ඔන්න ඒ පාර ආයෙත් සැරයක්..

මේ අම්මේ ...., මං ඔයාට සැරයක් කිව්වා. .. කැක්කුං නැතුව බොරුවට තටමන්න එපා. ඔයාටමයි අමාරු වෙන්නේ අන්තිමට ... ඔයාට තව වෙලා තියනවා. ඔය තදියම තිවුණාට බබා හම්බුවෙන්නේ නෑනෙ. පොඩ්ඩක් ඉවසලා ඉන්නකො - සැරයක් කිව්වහම ..

ඉතිං මිස් ...? මං මොකක්ද කිව්වේ .? අහ් ... නෑ මං කියන්නේ හරි හමං කසාද නං මොකද තව ... නේද? වෙලාවකට දුකත් හිතේනවා... ගෑණි හොඳට ම බය වෙලා. මොනව තේරෙනව ද මිස් ඔය වයසට ..? ඔන්න ඒ පාර නැගිටගෙන..

මේ අම්මේ එක සැරයක් කිව්වහ ම දඟලන්නෙ නැතුව ඉන්නකො.. ඔය විදියට ඉඳ ගන්න එපා මනුස්සයො.. ඔය ඉන්නේ බබාගෙ ඔළුව උඩනෙ. බබාගේ බෙල්ල කැඩුණොත් අපිනං නැහැ ඔන්න. හොඳ ළමයා වගේ පස්සට යන්න තව හ්ම්.. හ්ම්.. ඔහොම බැහැ - ඔහොම බැහැ... ඔය තට්ටම බිම තියලා හොඳට පස්සට වෙන්න ... ආන්න එහෙම .. හ්ම් කෝ දැං කකුල් දෙක ඈත් කොරන්ඩ බලන්න. අපොයි තව කොහෙද ...?”

ඇගේ දෙතොලින්, දෙකොපුල් වෙත අනියත බිය කාන්දු වී තිබිණි. දෙනෙත් අන්ධාකාරයෙහි ගිලී පැවතුණි. කළු ඉංගිරියාව සිවිලිම දෙස ම අනිමිසලෝචනයේ ... සිත, එහි පංකාව සේ එක් අතකට .. එහෙත් සිතුවිලි අනෙක් අතට ... දරුවා නොදැක මියදෙන්නට ඈට පුළුවන්කමක් නැත. නව මසක් පුරා හිතේ ඇඳුණු කිරිකැටියා... එක්වරක්වත් .. එක ම එක වතාවක්වත්.... නෙත් පුරා දකින්නට ..... මුව පුරා හිනැහෙන්නට .... සිත් පුරා විඳින්නට ... එක ම එක වතාවක්වත් .... ඉන් පසුව ඈ මියැදෙන්නට වුව සූදානමින් සිටියා ය.

.............................................

ඇත්ත ම කියනවා නම් ඔහු ද කරමින් උන්නේ සියුම් මානසික සැත්කමකි . (ඒ ඔහු ඈට කිව යුත්ත කීමට මිනිත්තු කිහිපයකට පෙර) ..ඔහු සතුව “පාපෝච්ඡාරණයක්“ තිබිණි. .... කදිම පාපෝච්ඡාරණයක් දශමයෙන් දශමය ඇය වෙත පිළිකුලත්, ඉනික්බිති පරාජයක් ළං කරවීමෙහි සමත්, සියුම් ලෙස විස කවන ලද පාපොච්ඡාරණයක්... ඇය තුළ පැසවන ඉවසීම අගය කට යුතු ය. ආත්මානුකම්පාවේ වේදනාබර කඳුළු බිඳු දෙනුවන දරා උන්නත්.

ඔහු මෘදු ලෙස ඇගේ පිට – අත්ල පිරිමැද්දේ ය. ඈ වහා ම අත ඉවතට ගත්තා ය. එහෙත්... එහෙත්.. ඔහු ගේ හිත පෑරුණේ නැත. එබන්දක් යටි හිතින් ඔහු බලාපොරොත්තු වූවා සේ විය . දිශානුගත ජීවන චාරිකාවේ අහම්බෙන් හමු වූ ගල්පරය වැඩි මහන්සියකින් තොර ව තල්ලු කර දමා මඟ එළි කර ගත්තා සේ.. ජය මාවත විවර වී තිබිණි. හුන් පළ ම සිට, ගුණ දොස් විචාරන්ට ඔහුට ඕනෑකමක් තිබුණේ නැත.

.............................................

”වං හුං ඇහුවෙ පත්තරේට දාන්ඩ නෙමෙයි. මේ පෝරමේ පුරවන්ඩ.. මෙයාගේ කී වෙනි බබාද මේ...? මොකද කතා කොරන්ඩ බැරි... ආහ්? කෝ මෙයාගේ භාරකාරයෝ..? මෙහාට එමු බලන්ඩ.. මෙයාට සිංහල තේරෙනවද? කොහෙ ඉඳන්ද මේ එන්නේ...?”

”අනේ එච්චර නං විස්තර නං කියන්ට දන්නේ නෑ මහත්තයා... මාත් ළඟදිනෙ නිවාසෙ වැඩට ආවේ... කොහොම හරි මෙහේ ක්ලිනික් ඇවිත් තියෙනවා... දැං බබා හම්බුවෙන්ඩ හොඳටෝම අමාරුයි. මෙයාව බලා ගන්ඩ හිටපු කෙනත් ගමේ ගොහිල්ලා... මැඩම් කිව්වා මට මෙයාව ඉක්මනටම ඉස්පිරිතාලෙට ඇතුල් කොරන්ඩ කියලා... අනේ මහත්තයෝ... ඉක්මන් කොරලා...”

”ඔන්න ඔහොම මුලින් කිව්ව නං ඉවරයිනෙ... මේ තිලකේ.. මෙන්න උඹලට අලුත් ඇඩ්මිෂන් එකක්... නිවාසෙ ළමයෙක්.. ලේබර් එකත් එක්ක නම් කතා කොරල වැඩක් නැති වෙයි..

අද උදේ ඉඳලම බකට්.. බකට් පිට බකට්.. ඒත් ඉතිං බබා හම්බුවෙන්ඩ ළං වෙච්චි ගෑනු මෙතන තියාගෙන බෑනෙ. මං කියන්නං.. උඹ ඔන්නොහෙ ටෙ‍්‍රාලියකට දාගෙන අරන් පලයන්.. වාට්ටුවෙ ඉඳං ආපු විදිහට.. මං හිමීට කාඩ් එක එවන්නම් පස්සෙ...”

.............................................

”මං කිව්වෙ නැද්ද උඹට ඕක කලින්? වල් සතා... මුල ඉඳන් ම ඇද බෑවේ ගජබින්න... කලිසමකුත් ඇඳගෙන ගාණක් නැතුව උඹට කියාල තියෙන ලස්සන..? උඹත් අහගෙන හිටියද ඔය බේගල් ඔක්කෝම..? උඹටයි බං බූවල්ලෙන් නෙළන්න ඕනෙ. ඇයි යකෝ සෙරෙප්පුව ගලෝල උගෙ කම්මුල හරහා දුන්නෙ නැත්තෙ ? උඹට කරපු අපරාදෙට හරි යන්න නෙමෙයි.. ඌට හොඳ පාඩමක් උගන්නන්න.. උඹට දීපු ගින්දර වෙන කාට හරි නොදෙන්න ඌට පාඩමක් උගන්නන්න තිබුණා..”

.............................................

කොඳු ඇට පෙළින්, එක් එක් කොඳු ඇටය එකිනෙකින් වෙන් වී යන ලෙසක් ඈට දැනිණි. තව මොහොතක් ඉවසා සිටියහොත් පලංචියේ දී දෙපළු වන ලී කොටයක් සේ සිය සියුමැලි සිරුර ද දෙපළු වනු ඇතැයි ඈට හිතුණි. බඩ වත පුරා පැතිරුණු වේදනාව ගත පුරා දුව ඇදෙමින් සිත බියපත් කරන්නට වූයේ ය. අවටින් හැමූ නොසරුප් වදන් වැල් ඈට නෑසුණා නො වේ. එහෙත් ඈ දරුවා ගැන ම සිතුවා ය. දරුවාත් සමග මියැදෙනවාට වඩා, දරුවා තනිකොට මිය යෑමට ඈ බිය වූවා ය.

එකෙණෙහි ම සියලු රාග දෝෂ මෝහයේ කැළැඹී සිටියාහ. අසුර බල කඳවුරු බිඳිමින් සුරයෝ ගගන තලය දික් විජය කරන්නට වන්හ. බොහෝ කලකට උඩ නොනගතයේ ඇරැඹි අවිනිශ්චිත ගමනේ තීරණාත්මක අවසානයක් කරා දරුවා එළැඹෙමින් සිටියේ ය.

සිහිකල්පනාව යහතින් තිබීම වාසනාවකි. හම මතු පිට පුපුරු ගසන වේදනාව - හම සිඳ – හම තුළින් මසට ද – මස සිඳ මස තුළින් නහරවලට ද නහර තුළින් ඇටවලට ද ඇට සිඳ ඇට තුළින් ඇට මිදුළුවලට ද කිඳාබසින බවක් ඈට දැනිණි. එහෙත් ඈ සිත දැඩි කොට ගත්තා ය. සහසක් අවි දැරූ අසුර රුපු නොද සිඳ බිඳ ලෑමට ළය වීර්යයෙන් පුරවා ගත්තා ය. වේදනාවෙන් මුර ගාන සිය සිරුරේ හෑම අහුමුල්ලක ම ශේෂ ව පැවැති ශක්තිය ඕ එක ගොඩකට පොදි බැඳ දරු ගැබ දෙසට දිශාගත කළා ය.

හෝරාව, නැකත, ගණය, දෙකර්ණය හා මුහුර්තය පෙරටු කොට ලග්නය ද නවාංශකය ද එළැඹියේ ය. දරුවා ගේ හිස පෙනෙන්නට වන්නේ ය.

ඉනික්බිති ගර්භ කුහරයෙන් නිකුත් වූ දියරයෙන් හා රුධිරයෙන් චිත්ත රෙද්ද පෙඟී යද්දී ම එපිස් කතුරින් යුනික සම කැපී යද්දී ම විළිරුදා හැරපියා දාරක ස්නේහය පුරුද්දා ඕ පිරිමි පුතකු ම වැදුවා ය.

ඇගේ දෙනෙතින් කඳුළු කැට කඩා වැටිණි. මානව දාරක පෙ‍්‍ර්මයේ ගැඹුරු වූ අනන්තයට වදනින් තොර සුසුමින් තොර හැඟුමින් තොර – ගැඹුරු ම ගැඹුරු අනන්තයට ඕ නිවි සැනසිල්ලේ කිමිදෙන්නට වූවා ය.

ළිං පතුල එක එල්ලේ ම පෙනෙන ඉඳුනිල් මිණි ජල තලයක් සේ ඇගේ දෙනෙත් මාතෘත්වයේ කාන්තියෙන් බැබැළිණි. ඇට මිදුළු තුළින් ඇටවලට ද, ඇටවලින් නහර ඔස්සේ මසට ද ඉනික්බිති සම සිඳ මතු පිටට වුත් සිරුර පුරා දිවයන අසිරිමත් හැඟුම් දහරාවකින් ඕ මුසපත් ව සිටියා ය.

ලොව සියලු නපුර පරයා යහපත ජය ගනිමින් පැවැතිණි.

”ඉතිං බලන්ඩ කෝ මිස්...? මේකගෙ ලස්සන... ඇත්තමයි අද මේ දීපාවලි දවසේ... දේව රූපයක් වගේමයි.. මට නං ඊරිසියාවෙ බැහැ. ඉතිං බලන්ඩකෝ මිස්... හරිහමං කසාද නොවුණට නේද..?”

ගත උණුසුම් කොට, අත් පා පිස දමා නව දිනකට වරම් ලද අලුත් මිනිසාට, සිය රූපය ගැන හැඟීමක් තිබුණේ නැත. හෙතෙම වැදෑමහින් මිදෙවු නිසාදෝ කා සමඟ හෝ උරණ වී අත් – පා විසි කරමින්, අවට සිටි සියල්ලන්ට ම අභියෝග කරන්නට වන්නේ ය. මව විඳි අවමන්වලට එදිරි ව තනි ව ම සටන් කරන්නා සේ.

”ඔන්න මයෙ පුතේ.. අපි අම්මා ළඟට ම ආවා.... දැං ඉතිං කිරි බොන්න හොඳ පුතා වගේ.. ආහ්... කෝ අම්මා ගාවට යන්න..”

කාරණය තේරුම් ගත් ළදරුවා වහා ම හැඬීම නතර කෙළේ ය. දරුවා ගේ කිරි සුවඳ දැනුණු සැණින් ඔහු ගේ පින්බර මුහුණ දුටු වනින් ඇතුළු හදෙහි පී‍්‍රතිමත් සිතුවිලි පිරී හිරවෙන්නාක් මෙන් ඈට දැනිණි. හදවතින් වාන් දමන මිහිරියාව, ඇගේ උණුසුම් රුධිරයෙහි රැළි නංවමින් පියයුරු තෙරපන්නට වන්නේ ය. ඊළඟ ඇසිල්ලේ දරුවා පුරුදු කාරයකු සේ මව ගෙන් කිරි උරා බීවේ ය. ඇගේ සිත ස්නේහයෙන් පිරිමැදිණි.

දීපාවලී සඳ මුදුන් වූවා ය. නිවි නිවි දිලෙන තරු කැන් පරයමින් මිහිතලයේ පහන් වැටි දිලිණි. අසුරයෝ පැරදී හුන්හ. සුරයෝ ජය ගත්හ. ලොව ම නිදි ගත් මොහොතේ, ආශීර්වාදයේ සොමි සඳ කැන් වැටී, පිනිබර අලුයම, මිහිමත දෙව් ලොවක් මවද්දී දඟකාර හුරතලෙක් මව ගේ තුරුළේ සුව සේ නිදා හුන්නේ ය.

අහසට අරක්ගත් දෙවිඳුනි... පොළොවට අරක්ගත් දෙවිඳුනි... ඔබ වහන්සේ ගේ කරුණාවේත්, දයාවේත්, අමා දිය රැස් විහිදා ඔහු ගේ නිර්මල ආත්මය සියලු පවින් මුදවා, ස්නේහයක් ක්‍ෂාන්තියත් උරුම කොට ආශීර්වාද කළ මැනව...

(2006 විභවි කෙටිකතා තරගයේ ජයග‍්‍රාහී නිර්මාණයක්)

https://archives.silumina.lk/punkalasa/20080713/_art.asp?fn=ar0807133

Nissanka Rajapaksa

unread,
May 4, 2024, 8:06:33 PMMay 4
to INDRAKA group
33
වතුර බිංදුව

පිලිපීන ජාතික හාර්මල් ඒ නුයේඩා විසින් රචිත Pulse of the Land කෙටිකතාවේ පරිවර්තනය

පරිවර්තනය - වසන්ත තිලකරත්න

ඇමරිකන් ජාතික මිනිසා දැඩි දිය පිපාසයකින් පෙළෙන්නට විය. ඔහු ගේ වතුර භාජනය හිස් වී ඇත. එය හිස් වූයේ සැතැපුම් කීපයකට පෙර ය. තැනින් තැන ඇති පැල්පතකින් දිය පොදක් සොයා ගත හැකි ය යන විශ්වාසය, ඔහුට තිබිණි. තවත් දිනක් ගෙවුණා යැයි ද ඔහුට සිතේ.

 තම පිටි අත්ලෙන් නළල් තලයේ ඩහදිය පිසදමමින් හේ "ඔබ කියන්නේ මිනිස්සු ඇත්තටම මේ ගිනිකන්ද උඩ ජීවත්වනවා කියලදැ?” යි විමසුවේ ය. තවමත් උදෑසන ය. එහෙත් හිරු රශ්මිය දැඩි බවක් දක්වයි. ඔහු ගේ මුහුණ රතු වී ඇත; කමිසය දහඩියෙන් තෙත බරිත වී ඇත.

"ඔව්", මඟ පෙන්වන්නා පිළිතුරු දෙයි. “අවුරුදු ගණනාවක් මුළුල්ලේ මිනිස්සු මෙහෙ ජීවත් වනවා.” වඩා උස නැති මිනිසකු වූ හෙතෙම ඇමරිකන් ජාතික මිනිසා තබන එක් පියවරකට පියවර දෙකක් තැබිය යුතු ය. එහෙත් ඔහු ශක්තිවන්ත අයෙකි. ඉංගි‍්‍රසි කතා කළ හැකි ය.

”ඒ වුණාට මේක කි‍්‍රයාකාරි ගිනි කන්දක්, මේක පිපුරුවොත් මිනිසුන්ට මොකක් වෙයිද? ඒක පිපුරුවොත්?” ඇමරිකන් ජාතික මිනිසා ඇසී ය.

’එහෙම සිදුවන්නේ කලාතුරකින්.’ මඟ පෙන්වන්නා පිළිතුරු දෙයි. ’පුපුරන්ට එන විට ඒ අය වෙනත් ආරක්‍ෂා තැනකට යනව. ආපසු එන්නේ ගිනි කන්ද පුපුරල ඉවර උණාමයි.’

’ඇත්තද? හොඳයි මට කියන්න ඒ අය කොහොමද ජීවත් වෙන්නෙ?’

’දවල් කාලයෙ වගා කරනව, රාති‍්‍ර කාලෙදි අඟුරු පුච්චනව. ඒ ගින්දර තමයි අප කන්ද පාමුල දැක්කේ.’ මඟ පෙන්වන්නා කීවේ ය.

’චැº මේ මොනතරම් පහත් ක‍්‍රමයක්ද ජීවත්වන්ට තියෙන්නේ?', හිස වනමින් ඇමරිකන් ජාතික මිනිසා අසතුටක් පෑවේ ය.

’ඔබ ගොඩක් කල් මෙහෙ සිටියද?’ මඟ පෙන්වන්නා ඇසී ය.

’මාස තුනයි’, ‘මැනිලා’. මැනිලා ජනගහනය ගැන තමා ලියමින් සිටි පොත ගැන ඔහුට මතක් වූයේ ය. මුවගට සිනහවක් පහළ විය. ‘තමා ගත් පිංතූර මාතෘකාවලට මනාව ගැළපෙනව‘යි ඔහු සිතුවේ ය. ඔහුට තමා වෙළෙඳ පොළ ගැන ලියූ උධෘත පාඨ මතකයට එයි.

 ස්වදේශකයෝ සියලු වර්ගයේ ඇඳුම් ආයිත්තම්වලින් සැරැසෙති. - යාර සියයකට සුවඳ සියයක් - වීදි සහ නගරය ගැන විස්තර කිරීමේ දී... පටු මාවත් අතරේ ඇවිදිනවිට... හමුවන කරත්ත, අත් කරත්ත, වාහන... එයින් වහනය වන ගන්ධය. - ලියපු දේ හැටියට නම් එය සංචාරකයන් සඳහා ලියූ පොතක් වැන්න... ඔහු මුළු රට ම කණපිට පෙරළන්න වගේ... ඔහු ගේ වාර්තා කෙටි වැකි කීපයකට ඇතුළු කළ හොත් - මැනිලාව ගැන මා සඳහන් කළ අසුබවාදී දේ නෛතික වශයෙන් කිසි ම වටිනාකමක් නැත.

එහෙත් ඒවා යමක් මතක් කරාවි... පෙරදිග පෙරදිග බවත් අපරදිග අපරදිග බවත්.. මම උතුර නෙබිරස්කා වශයෙන් සලකනව (එය ඔවුන් නොසලකන ප‍්‍රදේශයකි) කිසි ම අරමුණක් පැහැදිලි නැහැ. දැක්මක් කිසිවකු තුළ නැහැ, විශ්වාසවන්ත කමක් නැහැ, මංමුළා වෙලා වගේ, දසලක්‍ෂ විසි දෙකක ජනතාව ගේ ප‍්‍රාර්ථනා උඩු සුළඟට අසුවුණා හණ ඇටවගේ. - ඔහු ගේ ප‍්‍රකාශන හෙළා දකිනු ඇත. එහෙත් එය ඔහු ගේ වරද නො වේ...

‘ඔබ වැඩි කලක් මෙහි රැඳී සිටිනවද?‘ මඟ පෙන්වන්නා ඔහු සිතිවිලි ලෝකයෙන් ගොඩ ගනිමින් ඇසී ය.

"මෙහෙ ගොඩක් කල් ඉන්ඩ? නැහැ නැහැ මම ඕනෑවටත් වඩා නැවතිලා හිටිය. මම එක්සත් ජනපදයට යා යුතුයි.. නමුත් ඔබගේ මේ මේයොන් ගිනි කන්ද මගේ සැලසුම් වෙනස් කළා. එහි මුදුන මට බලන්න ඕනෑ.” ඔහු නොනවත්වාම කීවේ ය..

සුනඛයන් ගේ බිරුම් හඬ මිනිස් වාසයකට ළඟා වී ඇති බව කියයි. එය වතුර ටිකක් ලබා ගැනීමට හැකි තැනක් වීමක පෙර නිමිත්තකි.. එහි පෙහෙළි කළ බිම් තීරුවකට ඔවුහු පැමිණියෝ ය. කුඩා පැලක් එහි ඇන තියාගෙන සිටිනවාක් මෙන් දිස්විය. ඔවුන් ගේ පා හඬ ඇසීමෙන් බල්ලෝ තම දඩයම් දත් පෙන්නා ගොරවන්ට වූහ. වයස අටක පමණ වූ කුඩා ළමයෙක් ඉදිරියට පැමිණ, පසු ව බියගුලු කමකින් යුතු ව ටිකෙන් ටික ගේ තුළට පසු බැස්සේ ය..

ඇමරිකන් ජාතික මිනිසා සිනාසුණ විට ඔහු ද සිනාසුණේ ය. කොලුවා තම දෑත පහත දමා තම නිරුවත වසා ගැනීමට උත්සුක වූයේ ය. තත්පර කීපයක් එසේ සිටි පැටියා උරහිස මඳක් හැකිලී ය; දෑත් බඩ බැඳගත්තේ ය; කාලවර්ණ වූ සිහින් දෙපා මත දෑත් මුදා හැරියේ ය; පසු ව ගේ තුළට දිව ගියේ ය.

ඔහු නැවත පැමිණියේ රතුපාට ලෝගුවක් වැනි ඇඳුමක් ඇඳ සිටි ගැහැනු ළමයකු සමඟ ය. ඇයට මඳක් දිග රළු කෙස් වැටියක් විය. නිසැක ව ම ඇය ඔහු ගේ සොහොයුරිය විය යුතු ය. ඇගේ සහෝදරයා මෙන් ම ඇය අමරිකන් ජාතිකයා දෙස මඳක් බියගුලු සහ ලජ්ජාශීලි බැල්මක් හෙළුවා ය.

 ඇගේ සිනහව ප‍්‍රසන්න ය. අමුත්තන් දෙස නෙත් යොමා සිටියේ තම ඇඟිලි නිය සපමිනි. තම අපිරිසිදු පැල්පත ඉදිරියේ කොලුවා එක් අතකින් නිරුවත වසා ගැනීමටත්, ඔහු ගේ සොහොයුරිය එක් අතකින් වරලස රතු ඇඳුම දිගේ පිරිමඳිමින් සහ එක් අතක නිය විකමින් මුකුළු සිනහවක් නංවමින් සිටියා ය. තම පොතට මෙය කදිම සටහනක් යැයි ඔහු සිතුවේ ය. ඔවුනට නොදැනෙන සේ පින්තූරයක් ගත්තේ ය. එය මේයොන් කඳුවළල්ලේ ලාභ ඇඳුම් වශයෙන් නම් කළ හැකි ය.

ඇමරිකන් ජාතික මිනිසා තම මඟ පෙන්වන්නා අමතා වතුර ඇද්දැ යි විමසන ලෙස කීවේ ය. ඔහු, ඔවුන් ගේ ප‍්‍රාන්ත බසින් ඔවුන් හා දෙඩී ය.

‘අපට වතුර ටිකක් දෙනවද?’

කුඩා කෙල්ල හිස වනා ‘මම ගේන්නම්’ කියා ගෙතුළට ගියා ය. මගීහු දෙදෙන ම උණ බම්බු බංකුව වෙත ගියෝ ය. ඇමරිකන් මිනිසා කකුල් විහිදුවා බංකුව මත හිඳ ගත්තේ ය.. කුඩා ළමයා ඔහු අසල රැඳී සිටියේ ය.

‘හලෝ ළමයෝ මොකක්ද ඔයාගේ නම?’ ඔහු ළමයා ඇමැතී ය. ළමයා හිස වැනුවේ ය. දෑත් කම්මුල මත තබා ගේ තුළට දිව ගියේ ය. ඉතා සුළු මොහොතකින් නැවත ළමයා ගේ හිස දොර උළුවස්ස අතරින් දිස් විය. කළුවන් ලොකු ඇස් තරමක බිය ගතියක් දැක්වී ය.

‘ඒ අය ඇමරිකන් ජාතික මිනිසුන්ව කිසිදාක දැක නැහැ.’ මඟ පෙන්වන්නා කීවේ ය.

‘දක්‍ෂ කොලුවෙක් වගේ’ සුදු මිනිසා ගේ තුළට එබිකම් කරමින් කීවේ ය. උණ ලී බිත්තියට හේත්තු කරන ලද ඔතා හකුලන ලද පැදුරක්, බිත්තියට ඇණ ගසා තිබූ සාන්තුවරයකු ගේ පිංතූරයකින් යුත් දින දර්ශනයක්, මළානික ව ගිය උණ ලීයෙන් තනන ලද කුඩා මේසයක් ඔහුට දර්ශනය විය.

ගැහැනු ළමයා කළු පැහැ මැටි බඳුනක් පුරවා වතුර ගෙන ආවා ය. ඕ පළමු ව මේ බඳුන ඇමරිකන් ජාතික මිනිසාට දීමට උත්සාහ කළත්, පසු ව එය මඟ පෙන්වන්නාට දුන්නා ය. ඇමරිකන් මිනිසා එය දෑතට ගෙන මඳක් නැවතී, එය විපරමින් බලා ‘ආරක්‍ෂා සහිතයිද?’ යනුවෙන් විමසුවේ ය.

‘ඒ අය මේ වතුර බොනව‘ ඔහු පිළිතුරු දුන්නේ ය.

කුඩා ළමයා සහ ගැහැනු ළමයා මඳ සිනහවකින් සහ ඉතා උනන්දුවෙන් තමා දෙස බලා සිටිනු මිනිසා දුටුවේ ය. ‘හරි’ ඔහු තම මුවඟට බඳුන එසැවූයේ ය. පළමු උගුර ශබ්දයක් නඟමින් ගිල දැමුවේ ය. බඳුනේ භාගයක් ම ඔහු එක හුස්මට බීගෙන බීගෙන යන්ට විය.

මඳක් නැවතී කට පුරවා ගත් වතුර පොදක් බිමට හැළුවේ ය. එයින් පස රත් පාට වී නැවත කළු පැහැ ගැන්වූයේ ය. ඔහු නැවත ඉතිරි වතුර ටික ද බී ගෙන බීගෙන ගියේ ය. සීතල ගතියෙන් වූ ඒ ජලය තමාට කිසියම් සනීපයක් ගෙන දෙන්ට විය. එය රසවත් යැයි ඔහු සිතුවේ ය. ප‍්‍රසන්න සුවඳක් ඇතැ යි ඔහු සිතුවේ ය. බඳුන හිස් කළ ඔහු ගැහැනු ළමයා දෙස බලා සිනහවක් නංවමින් සුරත දික් කරමින් ඒ රිද්මයට හිස වනමින් තවත් වතුර ඉල්ලා සිටියේ ය.

ගැහැනු ළමයා ඉඟිය තේරුම් ගත්තා ය. ඇය නැවත ගෙතුළට වැදුණා ය. පිරිමි ළමයා ද ඈ පසුපස දිව ගියේ ය. ‘කොච්චර ලොකුද. හරි ලොකුයි නේද?’ මවිතය පළ කරයි. ‘එයා හරි සුදුයි’ ගැහැනු ළමයා පිළිතුරු දෙන ගමන් පසු පස විමසුම් බැල්මක් හෙළුවේ ඔවුන් නොගිය බව තහවුරු කර ගැනීමට ය.

සංචාරක මිනිසා නැවත ගෙනා වතුර බඳුන ද භාගයක් ම හිස් කෙළේ ය. ඉතිරිය ඔහු මඟ පෙන්වන්නාට දුන්නේ ය. මඟ පෙන්වන්නා වතුර බී ඉවර වූ විගස පිරිමි ළමයා වහා ඉදිරියට පැන බඳුන උදුරා ගත්තේ ය. ඇමරිකන් ජාතිකයා ඉදිරියට ගිය ඔහු, තම සොහොයුරිය ගෙන් අමුත්තා වතුර ඉල්ලූ ආකාරයට ම ඔහු අනුකරණය කර විමසීමක් කෙළේ ය. එය අවබෝධ කර ගත් ඔහු උවමනා බව හැඟවීමට හිස වැනී ය.

ළමයා සතුටින් ඉපිල වහා ගෙතුළට දිව ගියේ ය. තම දිවට ඇඟිල්ලෙන් සෙමින් ගසමින් තම සොහොයුරිය පසුකර දිව ගියේ ය. ඔහු වතුර බඳුනක් රැගෙන ආවේ ය. ළමයා වතුර බඳුන දෑතින් තදකර අල්ලාගෙන සිටියේ ය. මුළු ලෝකය ම තම දෑත මත යැයි ඔහු සිතන්නට ඇත. මඳක් කට උල් කරමින් තම සොහොයුරියට ඇසකින් තම ජයග‍්‍රහණය කියා පෑවේ ය. සෙමින් සෙමින් බඳුන ලොකු සුදු මිනිසාට එසෙව්වේ ය.

තුන් වන වතාවට සුදු මිනිසා කාළ වර්ණ වූ මැටි වතුර බඳුන ගත්තේ ය. එහෙත් මෙවර ඔහු වතුර බීවේ නැත. අසුනින් නැඟිට වත්ත දෙසට පියවර කීපයක් ඉදිරියට ගොස් එය හිසමත වක්කර ගත්තේ ය. හිස මුහුණ තෙමී යන සේ එය හොඳින් වක්කර ගත්තේ ය. ඉතිරි වූ වතුර ටික පොළවට විසිකර දැම්මේ ය. බඳුන ආපසු පිරිමි ළමයාට දී නැවත බංකුව මත වාඩිවූයේ ය.

‘ඇයි මෙ ළමයින් මෙතරම් පාළු තැනක තනිවම ඉන්නෙ?’ ඔහු මඟ පෙන්වන්නා ගෙන් ඇසී ය.

‘ඒ අය ඒවට පුරුදුයි’ ඔහු පිළිතුරු දුන්නේ ය.

‘මේ ගොල්ලන්ගෙ වැඩිහිටියන් මේ ළඟම ඇති, සමහර විට වගාවක හෝ කෑමට කොළ ජාති සොයනව ඇති’ යි කී ඔහු ගැහැනු ළමයා දෙසට හැරී ‘ඔයගොල්ලන්ගෙ මවුපියන් කෝ?’ යි විචාළේ ය.

‘බතල වචන පැත්තට ගිහිල්ල’, ඕ පිළිතුරු දුන්නා ය. උදුලු ගෑ බිම කෙළවර වූ කොස් ගස දෙසට ඈ පියවර මැන්නා ය. හිස් බෝම්බයක කොපුවක් ඒ ගසේ එල්ලෙමින් තිබිණි. අසලින් වූ යකඩ කම්බියක් ගෙන ඈ ඒ කොපුවට පස් වරක් ගැසුවා ය. එය පල්ලියක සීනු නාදය මෙනි.

‘එය අපේ හිස් ෂෙල් වෙඩි කොපුවක්’ සුදු මිනිසා ඉතා විමසිලිමත් වෙමින්, ‘කොහොමද එය මෙහාට ආවේ?’ යි ඇසී ය.

‘ඔබේ සොල්දාදුවන් එන්න පෙර දහස් ගණනක් ෂෙල් වෙඩි මේ නගරයට දැම්ම ‘මඟ පෙන්වන්නා විස්තර කෙළේ ය. නොබෝ වේලාවකින් එළිමහන් පෙදෙසින් කාන්තා කටහඬක් ඇසුණේ ය. මහලු කාන්තාවක් ඔවුන් ඉදිරියට පැමිණියා ය. හිස රෙදි කැබැල්ලකින් වසා තිබිණි. සුරතේ පාරම්පරික දිග පිහියක් විය. පිහි තුඩ අග පස් රැඳී තිබිණි. ඇය අමුත්තන් දෙදන දුටු විගස මදක් ගල් ගැසී ඔවුන් දෙස බලා සිටියා ය.

ඇගේ මුහුණ තද වී දිග වනු පෙනිණි. එහෙත් ළමයින් ඇයට කතා කිරීමෙන් පසු රළු වූ මුහුණ නැවත වෙනස් විය. ඇය අමුත්තන් ඉදිරියට පැමිණ ආචාරශීලී අයුරින් හිස පහත් කළා ය.

“අපි වතුර ටිකක් ඉල්ලා ගන්න ආව.” මඟ පෙන්වන්නා කීවේ ය.

“වතුර තියෙනව, ළමයෝ වතුර ගේන්න” ඇය කීවා ය.

“අපට උවමනා තරම්ම ඒ ගොල්ලො වතුර දුන්නා” ඔහු කීවේ ය.

“ඇත්තද? අනේ මේ ළමයින් ගැන අහිතක් හිතන්න එපා තවම පොඩි ළමයිනේ. ගේ ඇතුළටවත් කතා කරන්න නැතිව ඇති.” ඇය සමාව අයැදින ස්වරයෙන් තෙපලුවා ය.

“එකට කමක් නැහැ, අපි ටිකක් ගිමන් හැරීය.” මඟ පෙන්වන්නා කීවේය.

“මට බොහොම සන්තෝසයි,” මේ මගේ මුණුබුරයි මිණිබිරියයි, හොඳ නරක කියා දෙන්න වෙන කවුරුත් නැහැ අම්ම තාත්තා අවුරුදු දෙකකට ඉස්සෙල්ල මිය ගියා.” මහලු කාන්තාව දිගට කියාගෙන ගියා ය.

“ළමයින් හරි හොඳයි” මඟ පෙන්වන්නා පිළිතුරු දුන්නේ ය.

ඇමරිකන් ජාතික මිනිසා තමා ගේ කතාවට උවමනාවෙන් සවන් දී සිටින බව මහලු කාන්තාව දුටුවා ය. තම අතේ වූ පස් ඔහුට නොපෙනෙන අයුරින් සායම් වෙනස් වූ සායේ පිස දා ගත්තා ය. අනතුරු ව “ඔබ කොහේද යන්නේ” යි මඟ පෙන්නන්නා ගෙන් විචාළා ය.

“මෙයාට ගිනි කන්ද මුදුනට යන්න ඕනෑලු” මග පෙන්වන්නා පැවසුවේ ය.

“ඇයි එයාට එහෙ යන්න උවමනාව? එහෙ මිනිසුන් නැහැ නොවැ", ඇය විචාළා ය.

“මොහු අපේ රටට සංචාරකයෙක්, පින්තූර වගයක් ගන්න උවමනාලු”

“ඔහ්, අනේ එයාට කියන්න අපට වෙන මුකුත් දෙන්න දෙයක් නැහැ කියල. ඒත් ටික වෙලාවක් ඉන්නවා නම් බතල ටිකක් තම්බල දෙන්න පුළුවන්.”

තමා මාතෘකාව බව වටහාගත් සංචාරකයා “මොනවද කියන්නේ?” යි ඇසී ය.

“ඇය කියනව ළමයින් ගෙතුළට කතා නොකළාට කනගාටු වෙනව කියල. වතුර හැර වෙන කිසි දෙයක් දීමට නොමැති බවත් ඇය කියනව. ටිකක් හිටියොත් බතල තම්බා දෙන බවත් කියනව.” ඔහු පැහැදිලි කර දුන්නේ ය.

“ඕ නැහැ, කිසිවක් එපා කියන්න. මා වෙනුවෙන් ස්තුති කරන්න.” ඇමරිකන් මිනිසා ඔහු ගෙන් ඉල්ලා සිටියේ ය.

මඟ පෙන්වන්නා ඔහු ගේ ඉල්ලීම ඉටු කෙළේ ය.

“හොඳයි එහෙනම් ඔයගොල්ලො වතුර අරගෙන යන්න. එහෙ බොහොම රස්නෙයි.” කාන්තාව අවවාද දුන්නා ය. ඈ හිස් වතුර ජෝගුව අතට ගෙන “මේකට වතුර ගේන්න දැ” යි ඇසුවා ය. මඟ පෙන්වන්නා හිස වනා සනාථ කෙළේ ය. ගෙතුළට වැදුණ ඈ ඉතා සුළු වේලාවකින් දිය පිරුණු බඳුන ඇතැති ව පැමිණියා ය.

“ආ මෙන්න”

“ඕ පිරිල!" යි කියමින් මඟ පෙන්වන්නා එය සතුටින් බාර ගත්තේ ය.

සුදු මිනිසා අසුනෙන් නැඟිට්ටේ ය. අත කලිසම් සාක්කුවට දමා මාරු කාසි කීපයක් සොයන්නට විය. මහලු කාන්තාව මෙය වටහා ගෙන හිස වනා නුරුස්සන බැල්මක් හෙළුවා ය. ඇමරිකන් ජාතිකයා වහා අත ඉවතට ගත්තේ ය. ‘ස්තුතියි’ යන වචනය වෙනුවට සිනාසුණේ ය.

හිස නමා ආචාර කෙළේ ය. ළමයින්ට හිස වනා යන්නම් යැයි කී ය. එළිමහන් පෙදෙස පසු කර යෑමට පෙර හෙතෙම ආපසු හැරී බැලුවේ ය. නිවැසියන් තිදෙනා ම ඔවුන් දෙස බලා සිටින අයුරු ඔහු දුටුවේ ය. ඔවුන් ගේ බල්ලා තමන් කටින් බිමට හෙළුෑ වතුර තැන් ඉව අල්ලමින් සිටින බව දැක්කේ ය.

ඇමරිකන් ජාතිකයාට තමා කොපමණ දුරක් ඇවිද ඇද්දැ යි යන්න නො තේරේ. මඟ පෙන්වන්නා පැල්පතේ සිට සැතැපුම් දෙකක් ආ බව කියයි. ඇමරිකන් ජාතිකයාට එය ඊට වඩා වැඩි බව සිතේ. එහෙත් ඔහු එය සළකන්නේ නැත.

 ඉතා රළු ගල් පර උඩින් සහ ගිනි දැල් රස්නයෙන් වූ සුළඟ, කකාරන හිරු රැස් දැඩි වෙහෙසක් ගෙන දේ. අත් සීරී තුවාල වී ඇත. ගල් පතුරු සහ ආවාට සහිත ලිස්සනසුලු ගල් තලා කකුල් තුවාල කර ඇත.

ඔහු ඉදිරියේ ගිනිකන්ද දර්ශනය වේ. එය යෝධ කුලුනක් මෙන් අහසට නැඟ සිටියි. දැඩි බව රළු බව අභීත ව විහිදුවමින් දුඹුරු පැහැයෙන් සහ නිල්වන් පැහැයෙන් වූ ඈත පෙනෙන මිටියාවත් උඩින් සහ ඉන් ඔබ්බෙන් වූ සාගරය ද පරයා තම තේජවන්ත කම විහිදුවමින් ‘මෙයොන්’ ගිනිකන්ද විරාජමාන ව නැඟී සිටියි.

හමා ආ සීතල සුළෙඟ් පහස ඔහුට දැනුණේ ය. හේ සුළඟට නාසය අල්ලා දිග හුස්ම කීපයක් ගත්තේ ය. කැමරාව අටවා ගෙන පිංතූූර කීපයක් ද ගත්තේ ය. විවිධ කෝණවලින් ගැනීමට ඔහු උත්සුක වූයේ ය. පසු ව හේ තම මඟ පෙන්වන්නා ගිමන් හරිමින් සිටි තැනට පියවර මැන්නේ ය. ස්වභාව ධර්මය ඔබේ රටට ආශිර්වාදයක්. ඔබ ගේ රට ගැන ආඩම්බර විය යුතුයි.”

“දැන් හොඳට ම දවල් වෙලා කලා ඉම්මු ද? මඟ පෙන්වන්නා යෝජනා කෙළේ ය. දෙදෙනා ම නිසොල්මන් ව ආහාර ගත්තේ ය. පැය භාගයකට පමණ පසු ඇමරිකන් ජාතිකයා ආපසු ගමන් ඇරැඹීමට යෝජනා කෙළේ ය.

 “ඔබ තව ටික දුරක් උඩට යන්න කැමති නම් ආපසු යන්න හොඳ පාරක් තියෙනව. මඟ පෙන්වන්නා අලුත් යෝජනාවක් ගෙන ආවේ ය. “ඔබනෙ මඟ පෙන්වන්නා හා යමු” සුදු මිනිසා එයට කැමැති විය.

අගාධ සහිත ගිරි ශිකර මතින් මිනින්තු කීපයක් ඔවුහු ගමන් කළෝ ය. ඉක්බිති ඉතා කුඩා පටු අඩි පාරකට ඔවුහු පිවිසුණෝ ය. එය කඳු පාමුල දක්වා විහිදී තිබිණි. ඔවුහු එහි ගමන් ඇරඹූහ. කඳු පාමුල වූ ගස් මිටියාවතේ ගස්වලට වඩා වර්ණයෙන් යුක්ත විය. විශාලත්වයෙන් වැඩි විය.

පරෙවියන් ගේ හඬ ද වරින් වර ඔවුන්ට ඇසෙන්ට විය අගාධයේ පාමුලට පැමිණි විගස, පර්වතයේ සෙවණ වැටෙන අගාධයේ විරුද්ධ දිසාවේ පැත්තක මිනිසුන් යුහුසුලු ව යමක් කරමින් සිටින අයුරු සංචාරකයා දුටුවේ ය.

 එක් වයසක මිනිසෙක් ගල් තලාවක් මත වාඩි වී සිටියේ ය. කාන්තාවෝ සමූහයක් වැල්ලේ ඇන තබාගෙන සිටියෝ ය. කුඩා ළමයි සමූහයක් බොරලු උඩ දමමින් සෙල්ලම් කළහ. උණ බම්බු පර්වතය දිගේ උඩට හේත්තු කර තිබිණි.

“අර ඇයි උණ බම්බු අතන. අර මිනිසුන් මොකද කරන්නේ?” සුදු මිනිසා ඇසී ය.

“ඔය උණ බම්බු ජල නළ. ඒවායේ ජලය රැස් කරනව. ඔය මිනිස්සු තමාගේ වාරය ලැබෙන තුරු ඉන්නව.” මඟ පෙන්වන්නා පිළිතුරු දුන්නේ ය.

“මොනව වතුර! කොහොමද ඔය වියළි තැනින් වතුර ගන්නෙ? මට නම් එක බින්දුවක්වත් පේන්නෙ නැහැ.” ඔහු මවිතය පළ කරයි.

මෙතැනට කියන්නෙ ‘ටග්ඩො කියල ඉංග‍්‍රීසියෙන් බිංදුව කියල කියනව. තව ටිකක් ඉස්සරහට ගිහිල්ල බලන්නකො.

ඇමරිකන් ජාතිකයා මිනිසුන් සිටි පෙදෙසට ගියේ ය. හේ ඔවුන් පසුකර යනවිට සිනහවක් පෑවේ ය. හෙතෙම ජල මූලාශ‍්‍රය දැකීමට යුහුසුලු විය. පුදුමයකි. කඳු පාමුල එක් ගල් කුහරයක අඟල් හයක් පමණ ගැඹුරු ජල සිදුරකි. එය අඩියක් පමණ පළලින් යුක්ත විය. එය දිය උල්පතක් නො වේ. ඉතා කදිමට කෙසෙල් අත්තක් නමා ගල් පතුරකට අමුණා තිබූ තැනින් ගල මත ගලන දිය සීරාව බිංදු වශයෙන් මේ ජල සිදුරට වැටේ. ගල මත ගලන ජල බිංදු ගල මත වූ පෙඳ සහ ඉදිරියට නෙරා ආ ගස්වල මුල් දිගේ බිංදු රූටන අයුරු ඔහු දුටුවේ ය.

සංචාරකයා කෙසෙල් කොළයෙන් බිංදු බිංදු රූටා පුංචි ළිඳට වැටෙන අයුරු බොහෝ වේලාවක් බලා සිටියේ ය. වයසක මිනිසා පොල් කටුවකින් තම උණ බම්බු නළයට ජලය පුරවා ගන්නා අයුරු ද ඔහු දුටුවේ ය. අනතුරු ව හේ නැඟී සිටියේ ය.

 තමා සිටිය තැන අමතක විය. “මිනිත්තු විස්සක් ගන්නව එක් වතාවක් ළිඳ පිරෙන්න උණ බම්බුව පුරව ගන්න හතර සැරයක් ළිඳ පිරෙන්න ඕනි.” ඔහු ශබ්ද නඟා කී ය. ඔහු දෙඇස ළිඳ වෙතින් ඉවත් කරද්දී සියලු මිනිසුන් තමා දෙස බලා සිටිනු දුටුවේ ය.

ඒ සමඟ ම නිරුවත් කොළු පැටියෙක් පොල් කටුවක් අතින් ගෙන අතින් යම් සංඥාවක් කරමින් හිස ඉදිරියටත් පසුපසටත් වැනුවේ ය. නැවත නැවත ඉදිරියටත් පසුපසටත් වැනුවේ ය. අමරිකාන් ජාතිකයා හොඳින් ඔහු දෙස බැලුවේ ය. නෙත් අයා දැඩි විමසිල්ලෙන් බැලුවේ ය. ලේ දහරාවක් කොඳු ඇට දිගේ - මුහුණ පුරා දෙඋරවල දුවනු ඔහුට දැනිනි. උගුර වේළී ගොසිනි.

මින් පෙර කවරදාවත් එසේ වී නැත. ඒ කළු ඇස්, නොනවතින සිනහව, සිය මතකයේ ඇති හිස වැනීම ඔහුට වැරැදිය නො හැකි ය.

සුදු මිනිසාගේ දෑත් කොළු පැටියා ගේ දෙවුර මත රැදිණි. බස නොතේරුණත් එහෙනම් ඔබ මෙපමණ දුරක් වතුර ගේන්න ආව?” යි ඔහු ළමයා ගෙන් ඇසී ය.

පුදුමයකට මෙන් කොලුවාට එය වැටහිණි. ඔහු ලොකු සිනහවක් පා හිස වැනී ය. ඔහු ආපසු හැරී තම සගයන් දෙස බැලුවේ ය. වැඩිහිටි ගැහැනුන් දෙස බැලුවේ ය. ඒ දෙඇස් දිලිසෙමින් තිබිණි. තමා උස සුදු මිනිසකු හැඳීන සිටීම ඔහුට මහත් ආඩම්බරයකි. කොලුවා උස සුදු මිනිසාට වතුර රැස් කරන තැන සිටි රතු ලෝගුවක් ඇඳ සිටි ගැහැනු ළමයකු පෙන්වී ය. ඇය ඇඟිලි කීපයක් මුව තුළ රුවා සිටියා ය.

ඇමරිකන් ජාතිකයා මෙසේ ඔවුන් දෙස බලා සිටිය දී මඟ පෙන්වන්නා ඔහු අසලට පැමිණ යමක් කොඳුරා කීවේ ය. “පිංතූරයක් ගන්න කැමති ද?”

Nissanka Rajapaksa

unread,
May 5, 2024, 8:55:44 PMMay 5
to INDRAKA group
34
ඉසිඹුව
- නිමල් උඩගෙදර
ගුණසෝම තම සේවා කාලය දීර්ඝ කර ගැනීමට අදාළ ලියකියවිලි සකසා නිම කොට, පුටු ඇන්දට බර දී සැනසුම් සුසුමක් හෙළී ය. ඔහු ගේ මුළු හිස ම රිදී වනින් බබළයි. කාලවර්ණ ආරෝහ පරිණාහ දේහයකින් හෙබි ගුණසෝම ගේ හිත තාම ජව සම්පන්න ය; තරුණ ය. පාසලේ තරුණ ගුරුවරුන් හා උරෙනුර ගැටී කි‍්‍රයාශීලී ව කටයුතු කරන්නට ඔහු සමත් ය.
ගුණසෝමගේ මේ සූදානම වරුවක නිවාඩු පිට කලාප කාර්යාලයට යෑමට ය. ඔහු ගේ ගුරු භූමිකාවෙහි ඔහු අකැමැති ම කටයුත්ත කලාප කාර්යාලයට යෑම ය. එහෙත් සේවා දිගුව සඳහා අදාළ ලියකියවිලි රැගෙන අද එහි යා යුතු ම ය.
මාර්ගයේ දිවෙන එක ම බසය පැමිණෙන්නට තව පැයක කාල පරාශයක් ඇත. ‘’ඕෆ් පීරියඩ්’’ එකක් කාල සටහනෙහි සටහන් ව ඇති බැවින් ගුණසෝම පුටු ඇන්දට බර වී අතීතානුස්මරණ ඥානයෙන් හසිතුප්පාද චිත්තාවලියක් උත්පාදනය කර ගත්තේ ය.
ගුණසෝමට තම මුල් ම පාසල සිහියට නැඟිණ. එකල භද්‍ර යෞවනයෙහි සිටිමින් ඉගෙනුම් ඉගැන්වීම් කි‍්‍රයාවලියෙහි නියුක්ත තමා ඒ පාසලෙහි සිටි ජනපි‍්‍රයතම ගුරුවරයා වූ අයුරු ගුණසෝම මහත් සොම්නසින් සිහිපත් කෙළේ ය. ඔහු සිංහල විෂය පිළිබඳ ගෞරව උපාධිධාරියකු වූවා පමණක් නො ව, ඒ විෂය ධාරාව පිළිබඳ ප‍්‍රාමාණිකයකු ලෙසද ප‍්‍රකට විය.
ඔහු ඉඳහිට කවි, කෙටිකතා ආදිය ද ලියා පුවත්පත්වල පළ කරවා ගත්තේ ය. උසස් පෙළ පංතියෙහි සිංහල විෂය භාර ව කටයුතු කළ ගුණසෝම ගේ හඬ මිහිරි කෝකිල කූජනයක් පරිද්දෙන් පාසල් පිරියත සිසාරා රැව් පිළිරැව් දුන්නේ ය.
 ඔහු මිහිරි සරින් කව් ගී ගැයුවේ ය. නාට්‍ය කොටස් රඟ දක්වා පෙන්වී ය. සිසු සිසුවියෝ ඔහු ගේ හඬට වසඟ වූවාක් මෙන් මුව අයාගත් වන ම සවන් දුන්හ. ඇතැම්විට ඒ පංති කාමරය අසලින් යමින් සිටි විදුහල්පතිතුමා ද ගමන ද නවතා ගුණසෝම ගේ මුවගින් ගලිත සාහිත නදියෙහි කිමිදුණේ ය.
‘’ෂාº! ගුණසෝම පුතා කදිමයි... කදිමයි... ඔයා නම් හැබෑම දක්ෂයෙක්’’ විදුහල්පති තුමා ඔහු ගේ පිටට තට්ටු කොට ප‍්‍රසාදය පළ කෙළේ ය. උසස් පෙළ පංතියට අතිරේක පංති ද පවත්වමින් ගුණසෝම තම මංගල ඉගැන්වීම් අස්වනු නෙළා ගැනීමට උත්සුක විය. ඒ වසරේ විභාගයට වාඩිවූ විසිදෙනගෙන් පස් දෙනෙකු ම සරසවි වරම් ලැබීම විදුහල ලැබූ මහත් ජයග‍්‍රහණයක් විය.
ඉන් දස දෙනකු ම සිංහල විෂයට ‘ඒ’ සාමාර්ථ්‍ය ලබා ගැනීම ගුණසෝම ලැබූ මහත් ජයග‍්‍රහණයක් විය. පස් දෙනෙක් ම සරසවියට ගියෝ ය. ඉන් දක්ෂතම, සුන්දරතම ශිෂ්‍යාව ගුණසෝමට මහත් ‘අවැඩක්’ කොට සරසවියට ගියා ය. ඒ, ඇගේ හිත ගුණසෝම ළඟ තබා ගුණසෝම ගේ හිත සොරාගෙන යෑම ය. එකී පටලැවිල්ලේ අවසාන ඵලය වූයේ ඔවුන් දෙදෙන ගේ විවාහය යි.
‘’ගුණසෝම මහත්තයා බර කල්පනාවක වගේ...’’
අරවින්ද ගුණසෝම අසලට එමින් අසයි.
‘’අන්න පි‍්‍රයංකර පැදුරටත් හොරාම ගිහින්...’’ අරවින්ද කී ඒ ආරංචිය ගුණසෝම නොදැන සිටියක් නො වේ.
‘’ඕවා ඉතිං ඔහොම තමයි..කාලෙ වැරැද්ද...’’ ගුණසෝම උපේක්ෂාවෙන් කීවේ ය.
ගුණසෝම දසක ගණනාවක් පුරා දිවයිනෙහි විවිධ පාසල්වල සේවය කොට පැසුණු හිස ඇත්තෙකි. අතිශය ජනපි‍්‍රය ජාතික පාසල්වල මෙන් ම අතිශය දුෂ්කර පාසල්වල ද සේවා කොට කීර්තිය දිනා ගත්තෙකි. ඔහු සෑම අවස්ථාවක ම සේවාව නොපිරිහෙලා ඉටු කළේ, ඉගැන්වීම සඳහා ඔහු තුළ වූ සහජ කුසලතාව මෙන් ම අපමණ ආශාව නිසා ය.
ගුණසෝම, තමාට ලැබුණ ගුරු උපදේශක, වැඩ බලන විදුහල්පති වැනි තනතුරු එක හෙළා ම පිළිකෙව් කෙළේ ඉගැන්වීමට ඇති මහත් අභිරුචිය හේතුවෙනි. ඔහු උගන්වා, සිසුන් අතර හිඳ මහත් තෘප්තියක් අත් වින්දේ ය. එහෙත් මෑතක සිට ඔහුට පාසල තුළ ශිඝ‍්‍ර වෙනසක් පෙනෙයි.
සිසු පරපුර ඉතා වේගයෙන් කොහාටදෝ දුවන වග ගුණසෝම මහත් දුකින් අවලෝකනය කෙළේ ය. පස්ස පැත්තෙන් පහළට රූටා වැටෙන හිරිකිත කලිසම, අමුතු අමුතු කොණ්ඩා මෝස්තර, විකාර රූපී ආකාරයට ඉනට බැඳෙන ගවුම් පටිය, ජංගම දුරකතන ආදි මෙකී නොකී සියල්ල විසින් පාසලෙහි අමුතු ම වටපිටාවක් නිර්මාණය වන අන්දම ගුණසෝම දිටී ය. එහෙත් ඔවුහු සියල්ලෝ ම ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ය; හික්මවිය යුත්තෝ ය; ඉගැන්විය යුත්තෝ ය. එබැවින් සේවාව දිගුකොට විශ‍්‍රාමය පළවා හැරීමට ඔහු කැමැති ය.
‘’ගුණසෝම මහත්තයා මෙහාට ඇවිත් දැන් අවුරුදු පහක් විතර ඇති නේද?’’ අරවින්ද ගුණසෝම කතා සංලාපයකට පටලවා ගැනීමට මාන බලයි.
‘’ඔව් එහෙම වෙනවා...’’
රට වටේ ශිල්පදානය දුන් ගුණසෝමට අවසානයේ දී තමා ඉගෙන ගත් ගමේ පාසලට පැමිණීමට අවකාශ උදා විය. ඔහු එය මහත් භාග්‍යයක් කොට සැලැකුවේ රට වටේ ගොස් ගෙට ආවා’ වැනි හැඟීමකිනි. පාසල් බිමට පිවිසෙත් ම තමා විසි වසරකින් තරුණ වූවා සේ ඔහුට දැනිණ. එතෙක් සාමාන්‍ය පෙළ දක්වා පංති පැවැති ගමේ පාසලෙහි ඉගෙනුම් ඉගැන්වීම් වපසරිය එකොළහ ශ්‍රේණියෙන් අවසන්වීම ගුණසෝමයන්ට මහත් අඩුපාඩුවක් විය.
එබැවින් ඔහු විදුහල්පතිතුමා සහ ගුරු මණ්ඩලය සමඟ සන්ධානගත වී ගෙන ගිය ‘අරගලයේ’ ප‍්‍රතිඵලයක් ලෙස උසස් පෙළ පංති ඇරැඹීමේ අවසරය ලබා ගත්තේ ය. එහෙත් ඊළඟ ඇබැද්දිය වූයේ උසස් පෙළ පංතියට සිසුන් රඳවා ගැනීම ය.
සාමාන්‍ය පෙල සමත් සියල්ලෝ ම වෙනත් පාසල් කරා ගියෝ ය. මහත් දොම්නසට පත් ගුණසෝම දවස් ගණනක් නිවාඩු දමා ගෙදරට වී සිටීමට උත්සාහ කෙළේ ය. එහෙත් ඔහුට එසේ සිටීමට හැකි වූයේ එක් දිනක් පමණි. ඉගැන්වීමෙන් තොර තම සිත හිස් කළයක් බඳු යැයි ගුණසෝමට සිතිණ.
අවසානයේ දී ගණිතය අසමත් ‘ණයට කරන’ සිසු සිසුවියන් දස දෙනකු ගෙන් හෝ උසස් පෙළ පංතිය ආරම්භ වීම ගුණසෝමට මහත් අස්වැසිල්ලක් විය. ‘ණය කාරයන්ට’ ගණිතයෙන් තල්ලුවක් දී ‘ගොඩ දැමීමේ’ මහා ව්‍යාපෘතියට අත ගසන ලද්දේ ද ගුණසෝම විසිනි. අවසානයේ දී දහයෙන් අටක් ගොඩ ය.
ගුණසෝම වියපත් කොවුල් සරින් සාහිත රසය බෙදමින් සිසුන් ‘ඒ’ සාමර්ථ්‍යයට තල්ලු කිරීමට මහත් උනන්දුවෙන් කටයුතු කෙළේ ය. එහෙත් ඔහු ගේ හිතට කෙණෙහිලිකම් අපමණ ය.
අතිරේක පංතියක් ඇරැඹීමට කතිකා කරගත් ගුණසෝම පාසල ඇරුණ විගස ගෙදරින් ගෙනා බත්මුල ලිහාගෙන කන්නට විය. පාසල ඇරෙන මොහොතේ ම එක් බසයක් යයි. අනෙක යන්නේ සවස හතරට පමණ ය. එබැවින් පැය දෙකක් පමණ ඔහුට නිස්කාන්සුවේ සිසුන්ට ඉගැන්විය හැකි ය. ලොකු පුතා ගේ වැඩ කටයුත්තක් ද අතපසු කොට ඔහු එදින අතිරේක පංතිය දමාගත් බැවින් පුතු ගේ සිත රිදෙන්නට ඇතැ යි සිතමින් බත් කෑවේ ය.
 ඒ අතරතුර ඔහු පාඩමට ප‍්‍රවේශය ලෙස යොදා ගත යුතු කවිය සිහියට නඟා ගත්තේ ය. පාඩම අතරතුර ඉදිරිපත් කළ යුතු (පාඩමට සෑම අතින් ම අදාළ) සිය සුප‍්‍රකට විහිළුව සිහිපත් වීමෙන් ගුණසෝම ගේ මුවගට සිනාවක් ද නැඟිණ. ඒ විහිළුවෙන් මුළු පංතිය ම පෙරළි පෙරළී සිනාසෙනු ඇත. කවදත් වූයේ එසේ ය.
බත් පතෙහි තිබූ ඉතා සිහින් කටුවක් ඇනී ගුණසෝමට වේදනාවක් ඇති විය. ඔහුට මහේශාක්‍ය සිහි විය. ප‍්‍රදේශයේ අති විශාල සිසු දරු දැරියන් පිරිසකට සිප් පෙළහර පානා ටියුෂන් ගුරුවරයා ඔහු ය. ඔහු ගේ මුවගින් නිබඳ වෑහෙන අසැබි විහිළු තහළු සිසුන් අමන්දානන්දයට පත්කරලීමට සමත් වී ලු! ගුණසෝම අසා ඇති ආකාරයට මහේශාක්‍ය විසින් සන්ධි ආදී ඇතැම් වියරණ ක‍්‍රම ලිංගික කි‍්‍රයාවලි සිහිපත් වන ආකාරයට උගන්වන්නේ ලු! දැන් දැන් තම පංතියේ සිසුන් අතර ද මහේශාක්‍යයන් ගේ විචිත‍්‍රවර්ණෝශෝභිත නිබන්ධයන් බහුල ය.
ඇතැම් එකක අඩ නිරුවත් කාන්තා රූපයෙන් යුතු පිට කවර පවා ඇති වග ගුණසෝම යටැසින් දැක ඇත. පෙර දිනවල නම් එබඳු රූ සටහනක් පාසලෙන් දුටු කල දැඩි දඬුවම් පැමිණ වූ තමා, දැන් එබන්දක් දුටු විගස ඉවත බලා ගන්නට හුරු වූයේ කෙසේ දැයි ගුණසෝමට ම සිතා ගත නො හැකි ය. දිවා ආහාරයෙන් පසු ගුණසෝම වහ වහා පංති කාමරයට ඇදුණේ ය. පංති කාමරය හිස් ය. ගුණසෝම බලවත් විමතියෙන් යුතු ව වට පිට බලන්නට වූයේ විවර වූ මුවින් යුතුව ය. කොහේ දෝ සිට නුවන් මතු විය.
‘’නුවන් කෝ ළමයි...’’
‘’සර්... එයාලා ගියා...’’
‘’ඒ මොකද?’’
‘’සර්... එයාලට අද ටියුෂන්ලු...’’
‘කාගෙද?’’
‘’මහේශාක්‍ය සර්ගේ...’’
ගුණසෝම කතරක් මැද අතරමං වූවකු පරිද්දෙන් හිස් පංති කාමරය දෙස බලා සිටියේ ය.
බොහෝ හිත් වේදනා දැනුණ ද ගුණසෝම ඉතා සාර්ථක ලෙස ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු කරගෙන ගියේ ය. සිසුන් ගේ දුබලතා හඳුනා ගනිමින්, පියවරෙන් පියවර ඒ සියල්ල අකා මකා දමමින් ඔහු ඉගැන්වීමෙන් මහත් තෘප්තියක් අත් වින්දේ ය. ගමේ පාසලේ මුල් ම උසස් පෙළ අස්වැන්න!
සිසුහු සියල්ලෝ ම සමත්.
‘’දෙවියනේ මොන තරම් දෙයක් ද?’’ ගුණසෝම සිතුවේ එසේ ය.
දෙදෙනකු විශ්වවිද්‍යාලය ප‍්‍රවේශයට සුදුසුකම් ලබා ඇත. ගුණසෝම තාරුණ්‍යයේ දොරකඩට ආවා සේ ය. පි‍්‍රයංකර, කෝකිලා, ඔවුන් කොතරම් අගනේ ද? පාසලට මහත් ගෞරවයක් එක් කරමින් සරසවියට තේරී ඇත්තෝ ය. ගුණසෝම මහත් තෘප්තියෙන් අතීතයෙහි සැරිසරයි. එහෙත් ප‍්‍රතිඵල බැලීමට පි‍්‍රයංකර පාසලට ආවේ නැත.
‘’සර් එයා කල්තියාම ඉන්ටනෙට් එකෙන් බලලා...’’
ගුණසෝමට ‘ඉන්ටනෙට්’ යන්න මහා අමිහිරි වදනක් සේ හැඟී ගියේ ය.
‘’පි‍්‍රයංකර ඊයේ උදේ ඉස්කෝලෙ ඇවිත් පි‍්‍රන්සිපල්ගෙන් ඉල්ලුම්පත‍්‍ර අස්සන් කරගෙන ගිහින්... ඔය ළමයා නිකමට ඇවිත් උගන්නපු ගුරුවරුන්ට කතා කරලා ගියාද?’’ අරවින්ද කියයි. ගුණසෝම ගේ චිත්තා’භ්‍යන්තරය කලකිරීමකින් පිරී යයි. එහෙත් කෝකිලා එසේ නොවනු ඇත. කෝකිලා සිනාවකින් වත සරසාගෙන දොරකඩින් එබෙයි.
‘’ආ... දරුවා.. ඉතිං?’’
‘’සර්... මං ඉල්ලුම්පත‍්‍රයට ලොකු සර්ගෙන් අස්සන් ගත්තා.... සර්ට කතා කරල යන්න ආවේ...’
‘’බොහෝම හොඳයි... බලන්ඩ අරවින්ද මහත්තයා ආකල්පවලින් සරු ළමයි...’’ ගුණසෝම ඇගේ හිස පිරිමදිමින් කියයි
‘’පි‍්‍රයංකර වගේ නෙමෙයි. ඒ ළමයගෙ නම් හොඳ ගතිගුණ තියෙනව නේද? නික්ම යන කෝකිලා දෙස බලමින් අරවින්ද කියයි. සේවාව දීර්ඝ කිරීමේ ලියවිලි අතට ගත් ගුණසෝම කලාපයට යෑම සඳහා වහ වහා පාරට බැස්සේ ය.
ගුණසෝම බස් නැවතුමට සේන්දු විය. ඈත මාවතේ මහත් හ¾ඩින් වායුගෝලය කළඹමින් බස් රථය කඩාගෙන බිඳගෙන එනු පෙනෙයි. බස් නැවතුමේ කෝකිලාත් ඇගේ මවත් සිටිති. කෝකිලා තමාට උසුලා ගත නොහෙන තරමේ පෙට්ටියක් බදා ගෙන බසය පැමිණෙන තුරු බලා හිඳින්නේ මහත් නොඉවසිල්ලෙනි. ඇගේ මව ඊට නොදෙවැනි පෙට්ටියක් ඔසවාගෙන සිටීමට මහත් ආයාසයක් දරයි.
‘’මේ බර බද්දල් උස්සාගෙන නෑගම් යනවා වගේ...’’ ගුණසෝම ළෙන්ගතු හ¾ඩින් අසයි.
‘’අනේ නෑ මහත්තයෝ...’’ මව හිස නවා යටහත් පහත් ව දොඩයි.
‘’අපේ මහේශාක්‍ය සර් මුණ ගැහෙන්ඩ... මේ දරුවට ටියුෂන් දුන්නෙ ඒ සර් නොවැ... මේ දරුවට සිංහලවලට ‘ඒ’ සාමර්තෙ අරන් දෙන්ඩ ඒ සර් නොසෑහෙන්ඩ මහන්සි වුණා. කීප විටක්ම අපේ ගෙදරත් ආවා... අනේ රත්තරං මහත්තයා... එහෙම කෙනෙකුට කළගුණ සලකන එක යුතුකමක් නේද මහත්තයෝ...?’’
වේගයෙන් ආ බසය දූවිලි අවුස්සා මහත් සේ ඝෝෂා කොට බ්රේක් හැප්පුවේ ය. කෝකිලාත් මවත් බර පෙට්ටි ඔසවාගෙන වැටි වැටී බසයට නැංගෝ ය. සේවා දිගුව අතේ ම ගුලි කර ගත් ගුණසෝම විවර වූ මුවෙන්, කිසිදු හැඟීමකින් තොර ව, සෙල්රුවක් සේ බසය දෙස බලා උන්නේ ය.
‘’ඉක්මනට නඟින්ඩ මහත්තයෝ...’’ කොන්දොස්තර තරුණයා ගේ උස් හඬ ගුණසෝමට නෑසුණ ගාණ ය.
‘’බීරෙක්!’’
යටිගිරියෙන් කෑ ගසාගෙන බසය ගුණසෝම පසු කර ගෙන මහත් වේගයෙන් පියඹා ගියේ ය. දූවිලි සහ දුම්වලාව අතර ගුණසෝම අතරමං ව බලා සිටින්නට විය.

Nissanka Rajapaksa

unread,
May 6, 2024, 8:42:46 PMMay 6
to INDRAKA group
35
  බළලා එළියට පැනීම  

R..K.. නාරායන් ගේ "CAT WITHIN" කතාවේ පරිවර්තනය

පරිවර්තනය අමරවීර කොළඹගේ

'විනායක් මුදලි' වීථියෙහි පිහිටි ඒ පුරාණ ගෘහය විවිධාකාර කුලි නිවැසියන් රාශියක ගේ වාසස්ථානය විය. මෙහි නිවැසි සියලු දෙන ගේ වුවමනාවන් පිරිමසා ගැනීමට සිදු වූයේ වත්තේ පසු භාගයේ සියඹලා ගසක් යට තිබුණු එක ම ළිඳෙන් හා වැසිකිළියෙනි. ගෘහය අයිතිකරු එකී නිවසේ ප‍්‍රයෝජනයට ගත හැකි සෑම ඉඩ කඩක් ම බෙදා වෙන් කර නමට පමණක් නවාතැන් හෝ කාමර යයි කිය හැකි ආවරණ අටවා, ඒවා කුලියට දී, මාසය අවසානයේ උපරිම කුලිය සූරා ගත්තේ ය. ඒ හැරුණු විට වීථියට මුහුණ ලා පිහිටි කොටසක ඔහු තම ව්‍යාපාරික ස්ථානය පවත්වා ගෙන ගියේ ය. මෙහි විකිණෙන වෙනත් බඩු අතර නුදුරේ පිහිටි නගර සභා පාසලෙන් පිට වී රංචු පිටින් පැමිණෙන ළමයින් සඳහා රස කැවිලි, පෑන් පැන්සල් හා පීත්ත පටි යනාදිය ද විය. රාති‍්‍රයේ දී ගෘහය අයිතිකරු නොහොත් කඩ හිමියා වෙළෙඳ සල දොර'ගුලු දමා දොර අසලින් ම නිදා ගත්තේ ය. ඒ, කිසියම් සොරකුට ඔහු ගේ සිරුරේ නො ගෑවී ඇතුළු වීමට නො හැකි වනු පිණිස යි. ඒ හැරුණු විට තවත් ආරක්ෂක උපක‍්‍රමයක් වශයෙන් හිස් භූමිතෙල් ටින් කිහිපයක් එක පිට එක නංවා දොර අසලින් තැබුවේ ය. කිසිවකු යාන්තමට හෝ ඒවායේ ස්පර්ශ වුවහොත් විශාල ශබ්දයක් නඟමින් ඒවා බිම පතිත වෙයි. අනතුරු ඇඟැවීම සඳහා එය කදිම ප‍්‍රයෝගයෙකැ යි ඔහු සිතුවේ ය.

දිනක් මැදියම් රෑ බළලෙක් කඩය තුළ ගොඩ ගසා තිබුණු ධාන්‍ය ගෝනි අතරින් දිවූ මීයකු ලුහුබැඳ යන්නේ අතරමඟ තිබූ පිත්තල ජෝගුවක් දැක උපන් කිසියම් කුහුලකින්, සිය හිස ජෝගුව තුළට දැම්මේ ය. උගේ හිස ජෝගුව තුළ හිර විණි. අහම්බයෙන් තම හිසට වැටුණු කිරුළ හේතුවෙන් දෑස නොපෙනීම නිසා බළලා අන්ද මන්ද විය. ඌ වරක් උඩ පැන්නේ ය. නැවත දිවීමට තැත් කෙළේ ය. මෙහි දී පිත්තල ජෝගුව අතරමඟ හමු වන හැම දෙයක ම ද, බිත්තිවල ද ශබ්ද නඟමින් ගැටුණේ ය. තම සුපුරුදු ස්ථානයේ නිදි සුව විඳිමින් සිටි කඩ හිමියා කඩය තුළින් ඇසුනු ශබ්දයෙන් ඇහැරුණේ ය. දොරේ තිබූ කුඩා පැල්මකින් අඳුරු වෙළෙඳ සල වෙත එබී බැලූ ඔහු ක්ෂණයකින් හිස ඉවතට ගෙන "හොරෙක්, හොරෙක්" යනුවෙන් උදව් ඉල්ලා කෑ ගැසුවේ ය. අනතුරු ව උණ බම්බුවක් ගෙන 'ඕනෑම දෙයකට සූදානම්' යැයි කියන්නට මෙන් එයින් පොළොවට තට්ටු කෙළේ ය. උණ බම්බුව පොළොවේ වදින වතාවක් පාසා නැඟෙන ශබ්දයෙන් බියපත් වූ බළලා ද උමතුවෙන් මෙන් උඩ පැන්නේ අසල තිබූ සෑම දෙයක ම ගැටෙමිනි. කඩ හිමියා ගේ හදිසි හඬ ගෑමෙන් කලබලයට පත් අනෙකුත් කුලී නිවැසියෝ දිව විත් වෙළෙඳ සල වෙත රොක් වූහ. ඔව්හු ද දොරේ විවරය තුළින් කඩ කාමරය තුළට එබී බැලූ නමුත් එතුළින් නැඟෙන බෙලෙක් ශබ්දය ඇසෙත් ම බියෙන් වෙවුලන්නට වූහ. පිරිස නැවත නැවතත් අඳුරු වෙළෙඳ සල වෙත එබිකම් කළ නමුදු, අඳුරේ හොල්මන් කරන්නා පිළිබඳ ව පැහැදිලි චිත‍්‍රයක් මවා ගත නො හැකි ව "හපෝයි මොකා වුණත් අමනුස්ස භූතයෙක්. හරියට කියන්න අමාරුයි." යනුවෙන් තීරණයකට එළැඹුණහ. මෙහි දී පිරිසේ කෙනෙක් "අපි කට්ට¾ඩියට එන්න කියමු" යනුවෙන් අපුරු යෝජනාවක් ගෙනාවේ ය.

මේ කුලී නිවැසියන් අතර එක් යකැදුරෙක් ද සිටියේ ය. ඔහු යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් ආදිය කරමින් තම ජීවනෝපායය සලසා ගත්තේ ය. ඔහු ගේ නවාතැන තිබුණේ මේ ස්ථානයට බොහෝ ඈතින් බැවින් ඔහු ඒ අවස්ථාවේ තද නින්දේ පසු විය.

මේ යකැදුරා තම කුටියෙන් පිටතට එක ද අඩියක් නොතබා දිනකට රුපියල් පනහක් පමණ ඉතා පහසුවෙන් ඉපැයුවේ ය. ඔහුට ගනුදෙනු කරුවන් ගේ හිඟයක් නො වී ය. පොන්ඩිචෙරි, ලංකාව, නැතහොත් සිංගප්පූරුව වැනි බොහෝ දුර බැහැරින් පවා ඔහුගේ සේවාව පතා පිරිස් පැමිණෙන බව බොහෝ දෙන කීහ. එසේ පැමිණෙන පිරිස ගෙන් මුළු වත්ත ම පිරුණේ ය. අනෙකුත් කුලී නිවැසියන්ට කරදරයක් හෝ බියක් නොවනු පිණිස ඔහු ගේ කටයුතු වත්තේ පසු භාගයේ සිට කරන ලෙස ඔහුට දන්වා තිබිණ. සෑම දිනක ම පාහේ උමතු ගැහැනු, පිරිමි සහ ඔවුන් ආං බාං කර ගෙන සිටින ඥාතීන් ද මෙහි දී දැක ගත හැකි විය.

එදින මැදියම් රෑ ඒ අනපේක්ෂිත ඇබැද්දියෙන් අසරණ වූ කඩ හිමියා දොර විවෘත කර යකැදුරාට හඬ ගෑවේ ය. "අනේ ඉක්මනට එන්න. මට ඔහේගෙ උදව්ව අවශ්‍යයි. කඩේ ඇතුළේ මොකක්දෝ අද්භªත දෙයක් වෙනවා. ඉක්මනට එන්න."

තම වෘත්තියට ගැළැපෙන ඇඳුම් ආයිත්තම්වලින් සැරැසී මිස යකැදුරා කිසි දිනෙක පිටතට නො ගියේ ය. ඔහු ක්ෂණයකින් හැඳ පැළැඳ තම නව ගුණ වැල ගෙලෙහි පලඳ්‍ර බෑගය ද රැගෙන කඩය ඉදිරියට පැමිණියේ ය.

"දැන් කියන්න මොකද වෙලා තියෙන්නෙ?"

"ජෝගුවකට පණ ඇවිල්ල වගේ. උඩ පනිනවා. එහාට මෙහාට දුවනවා. ශබ්ද කරනවා.

"ඕහ්. ඕක තමා ජෝගු භූතයා. ඌ එහෙම තමයි. ඌ හැම තිස්සෙම හිස් ජෝගුවලට පැනලා විකාර කරනවා. ඒ නිසා තමයි අපේ පුරාණ ඇත්තෝ කීවේ කවදාවත් හිස් ජෝගුවක් කට උඩු පැත්තට හරවලා තියන්න එපා මුණින් අතට නවලා තියන්නය කියලා. මේ වගේ භූතයෝ කරන්නේ ශබ්ද කරලා ඔහේලා බය කරන එකයි. හැබැයි බය වුණොත් ඉවරයි. ඔළුවටම තමා ගහන්නේ. ඒත් දැන් බය වෙන්න කාරි නෑ. මට පුළුවන් ඒක ඉවරයක් කරන්න."

කඩ හිමියා වැලැපෙන්නට පටන් ගත්තේ ය. "මම කුරා කූඹියෙකුටවත් කරදරයක් නැතුව මෙච්චර කාලයක් ජීවත් වුණේ. ඇයි මට මෙහෙම වෙන්නේ?"

"ඒවා එහෙම තමයි. ඒත් ඒ ගැන කරදර වෙන්න එපා. ඒක කරුමෙ. ඔහේගෙ අතින් මොනවා හරි වැරැද්දක් වෙන්න ඇති."

"මොන වගේ වැරැද්දක්ද?" කඩ හිමියා විමැසුවේ කුතුහලයෙනි.

තම සිතේ සැඟැවී පවතින කාරණය හෙළිදරව් කිරීමට යකැදුරා තවම සූදානම් නැත. අනෙකුත් සියලු ම කුලී නිවැසියන් මෙන් යකැදුරා ද මේ ඉඩම් හිමියා නොහොත් කඩ හිමියා පිළිකුල් කෙළේ ය. එහෙත් කඩ හිමියා ගේ කුමක් හෝ වරදක් අල්ලා ගැනීම සඳහා කල් යල් බලමින් සිටියේ ය.

"ඔය භූතයා නම් මහ එපා කරපු එකා. හිත දුර්වල අය ඌට බය වෙන්න පුළුවනි. ලේ වමනෙ කරන්නත් ඉඩ තියෙනවා" යයි යකැදුරා කීවේ ය.

ඔවුන'තර මෙසේ සංවාද පැවැත්වෙද්දී වෙළෙඳ සල තුළින් බෙලෙක් හඬ නොනවත්වා ඇසිනි.

සෙනඟ අතරින් එකෙක් "ඕක තමයි කියන්නෙ මේවට ලයිට් ගන්නය කියලා. මේ ටවුමෙ අනිත් හැම තැනම ලයිට් තියෙනවා. අපි විතරයි ලයිට් නැතුව දුක විඳින්නේ." යයි කීවේ ය.

"ඇයි ඉතිං ඔහේ ලන්තෑරුමක් ගන්නෙ නැත්තේ?"

"දවස් තුනකින් භූමිතෙල් නෑ. අපි රෑට කෑවේ තරු එළියෙන්."

"ඉවසන්න. ඉවසන්න. මම ලයිට් ඉල්ලල තියෙන්නෙ. ඉක්මනට ලැබේවි."

"ලයිට් තිබුණා නම් සුවිච් එක දාපු සුනංගුවෙන් බලා ගන්න තිබුණා. මේ කලබල කරන එකා මොකාද කියලවත්."

"හරි හරි. ඒවා ඒ වෙලාවට කෙරේවි. දැන් ඕවා කතා කර කර ඉන්න වෙලාවක් නෙවෙයි." කියමින් කඩ හිමියා යකැදුරාට දොරකඩට පැමිණීමට ඉඩ දුන්නේ ය. කිසිවකු විදුලි පන්දමක් දල්වා වැනුව ද බැටරි දුර්වල වීම නිසා බල්බය දැල්වුණේ ගිනි අඟුරක් මෙන් යාන්තමට ය. කිසිවක් පැහැදිලි ව දැකීමට ඒ එළිය ප‍්‍රමාණවත් නො වී ය. මේ අතරතුර පිරිසක් පැමිණ ඇති බව ඉවෙන් මෙන් දැන ගත් බළලා පළමු ව මඳ වේලාවක් නිසොල්මනේ සිට නැවතත් පෙරට වඩා දෙගුණයක් වේගයෙන් උඩ පැන්නෙන්, බිත්ති, ජනෙල් පොලු හා ආසන්නයේ තිබුණු සෑම දෙයක ම වැදුණේ ය. බෙලෙක් ශබ්දය ඇසෙන හැම මොහොතකම කඩ හිමියා විලාප දුන්නේ ය. පිරිස ද බියපත් ව පසු බෑහ. යකැදුරා ද බියට පත් වූ බවක් පෙනිණි. ඔහු වරින් වර අදුරු කාමරය දෙස එබී බැලූ නමුත් බෙලෙක් ශබ්දය ළං ව ඇසෙන සෑම විටක ම දක්ෂ ලෙස පස්සට පැන්නේ ය.

"ඉටි පන්දමක් වත් පත්තු කරන්න" යකැදුරා රහසින් කීවේ ය. "ඔහෙත් කරුවලේ. වත්තෙ අනිත් අයත් කරුවලේ. ටවුමෙ අනිත් හැම තැනම ලයිට්. ඔහේ නම් මහ පුදුමාකාර මිනිහෙක්."

පිරිසෙන් කෙනෙක් "පවුල් විස්සකට විතර තියෙන්නෙ එක ළිඳයි. එක වැසිකිළියයි." යනුවෙන් කී ය.

"මම මගේ ගෑනිත් එක්ක ඇඳේ ඉඳගෙන කොඳුරන දේවලුත් හැමෝටම ඇහෙනවා" විහිලු කාරයා කීවේ ය.

"ඔහේ බැඳලා නැහැ නේ" තවකෙක් හරස් කැපුවේ ය.

"ඒකට මොකද, තව ඕන තරම් ඒ විදියට ඉන්නෙ?"

"අනිත් අයට වඩා ලොක්කා වෙන්න හදන්න එපා."

ක්ලෑන්ග්...! ක් ලෑ න් ග්!

"මෙයාගේ පව්කාර වැඩ නිසයි මෙහෙම හොල්මන් වෙන්නෙ." තවත් කෙනකු කීවේ කඩ හිමියා පෙන්වමිනි.

"මෙතන ඔච්චරම නරක නම් ඇයි තමුසෙලා වෙන දිහාවකට යන්නෙ නැතුව මේකෙම ඉන්නෙ?" කඩ හිමියා ඇසී ය.

ඒ ප‍්‍රශ්නයට කිසිවකු සතුව පිළිතුරක් නො වී ය. හැම ටවුමක ම මෙන් මෙහි ද උග‍්‍ර නිවාස හිඟයක් පැවැතිණි.

මේ අවස්ථාවේ දී යකැදුරා ස්ථානයේ පාලනය තමා යටතට ගත්තේ ය. ඔහු පිරිස දෙස බැලුවේ නිශ්ශබ්ද ව සිටින්නට අණ කරන්නාක් මෙනි. "මේක ඉල්ලීමක් දිනා ගන්නවත්, වැරැදි කියන්නවත් වෙලාවක් නෙවෙයි. ඔය ගොල්ලෝ ඔක්කොම ගිහිල්ලා නිදා ගන්න. ඒ මොකද ඇතුළෙ ඉන්න භූතයා කොහොම හරි එළියට ගන්න ඕන. ඌ එළියට පැන්නාම කවුරුවත් අහල පහළ ඉන්න නරකයි. එහෙම වුණොත් ඌ ආවේශ වෙලා මහ කරදරයක් වෙනවා."

"ඒත් කමක් නෑ. සමහර විට ඒ භූතයා මෙයා තරම් දුෂ්ඨ වෙන එකක් නෑ. ඌ මට ආවේශ වෙනව නම් මම කැමතියි. එහෙම වුණොත් මම මේ ගේ කුඩු පට්ටම් කරනවා අයිතිකාරයා මොකා වුනත් උගෙ ඔලුව උඩට වැටෙන්න" විහිලු කාරයා කීවේ ය.

"හා හා ඔච්චරම නපුරු විදියට කතා කරන්න එපා. මමත් ඔය ඇත්තො වගේම කරදර විඳ විඳ කුලියට ඉන්න කෙනෙක්. ඒත් මේ වෙලාවෙ මගේ අමාරුකම් කියන්නෙ නැහැ. ඒවටත් වෙලාවක් තියෙනවා. කෝ මෙහාට ගන්න ඉටි පන්දමක්" යකැදුරා එසේ කියමින් කඩ හිමියා දෙසට හැරුණේ ය.

".... ඇයි? ඉටි පන්දම් නැද්ද? ඔහේගෙ කඩේ විකුණන්න ඉටි පන්දමක් වත් නැත්නම් ඔහේ මොන මුදලාලි කෙනෙක්ද?"

කඩ හිමියා කෝටු මස් කිරීමට ලැබුණු මේ අවස්ථාව කිසිවකු මඟ හැරියේ නැත.

"ඉටි පන්දම් තියෙන්නෙ කඩේ ඇතුළෙ දකුණු පැත්තෙ රාක්කෙ. අත පොවන හරියේ" කඩ හිමියා කීවේ ය.

"ඔහේ කියන්නෙ මට කඩේ ඇතුළට ගිහිං බලන්න කියලද? හැබැයි භූතයො ඉන්න තැන්වලට යන්න මම ගාස්තු අය කරනවා. එහෙම නැත්නම් මගේ වැඩ දුරින් ඉඳගෙන තමයි" යකැදුරා කීවේ ය.

කඩහිමියා විශේෂ ගාස්තුවක් ගෙවීමට කැමැති විය. යකැදුරා උගුරේ රැල් බුරුල් හැර, කෙස් වැටිය සකස් කර ගැනීමෙන් අනතුරු ව වෙළෙඳ සැලේ දොර අසලට ගොස් "ඒයි භූතයා මම දන්නවා උඹ කවුද කියලා. උඹත් දන්නව ඇති මගේ හැටි. එහෙම නම්..." යනුවෙන් කෑ ගසමින් දොර පළුව මෑත් කර ගෙන ඉතා පරෙස්සමෙන් පියවර කීපයක් ඉදිරියට ගියේ ය.

වා කවුලුවක් වසා තිබූ වීදුරුවක ජෝගුව වැදී එය බිඳී ගියේය. ඉන් නැඟුණු ශබ්දයෙන් බළලා ගේ බිය දෙගුණ වී වියරුවෙන් මෙන් පිණුම් කීපයක් ගැසුවේ ය. විවිධාකාර වූ යකඩ තොගයක් එක විට පෙරැළෙන විට නැඟෙන්නා වූ හඬක් බඳු බියකරු ශබ්ද අඳුරු කාමරය තුළින් ඇසුණේ ය. යකැදුරා ගේ පය පැකිළුණේ ය. තමා ආ කාරිය කුමක් ද, ඊළඟ පියවර කුමක් විය යුතු ද යන්න යකැදුරාට නිච්චියක් නො වී ය. ඒ සමඟ ම ඔහු එක පිට එක ගොඩ ගසා තිබූ හිස් බූමිතෙල් ටින්වල හැපුණේ ය. මහා ශබ්දයක් නඟමින් ඒවා ද බිම පතිත වී පෙරැළී ගියේ ය. බළලා ගේ වියරුව දෙගුණ තෙගුණ විය. යකැදුරා එළියට පැන්නේ ය. "හපෝයි මේක නම් එසේ මෙසේ එකක් නෙවෙයි. මාව සුළි සුළඟකට අහු වුණා වගේ. තව ටිකකින් බිත්තිත් පෙරළා දමනවා සිකුරුයි"

"අයියෝ" කියමින් කඩ හිමියා වැලැපුණේ ය.

මම විශේෂ ආරක්ෂාවක් කර ගන්න ඕනෑ. මම ඇතුළට යන්න බෑ ඉටි පන්දම් නෑ ලයිට් නෑ. හැම වැඩක් ම කරන්න වෙලා තියෙන්නෙ කරුවලේ. මම ඉක්මනට එළියට පැන්නෙ නැත්නම් මාව ඉවරයි"

"අයියෝ මගේ කඩේටයි, බඩුවලටයි මොනවා වේවිද?"

"බලමු. බලමු. මොනවා හරි කරන්න බලමු" යකැදුරා අනෙකා අස්වැසුවේ ය. ඔහු එසේ කී නමුදු ඔහු ද මහත් සේ බියට පත් වී ඇති බව වීථියේ දැල්වුණු පහනක එළියෙන් පෙනිණි. යකැදුරා ගේ බියපත් මුහුණත්, කැරකෙන දෙනෙතත් හේතුවෙන් ඒ දෙස බැලීමට කඩ හිමියා බියපත් විය. තමන් ඇතුළේ සිටින භූතයාටත්, පිටත සිටින තවත් භූතයකුටත් කොටු වී ඇති සෙයක් කඩ හිමියාට දැනිණි. මෙයින් කුමන භූතයා වඩා භයානක දැ යි සිතා ගැනීමට ඔහු අපොහොසත් විය. "මම මෙතැන ඉඳ ගැනීමට කිසිදු බියක් නැතැ" යි කියන්නට මෙන් කඩ හිමියා වැසූ දොර ඉදිරියේ වාඩි වී "මට තඹ භාජනයකුයි, තඹ වීදුරුවකුයි, තඹ හැන්දකුයි දෙන්න" යයි ඉල්ලා සිටියේ ය.

"ඇයි තඹ ඒවාම ඉල්ලන්නේ?"

"ප‍්‍රශ්න අහන්න එපා... කමක් නෑ. මම කියන්නම් හේතුව. තඹ කියන්නෙ හොඳ සන්නායකයක්. අර උඩ ඇදලා තියෙන වයර් පේනවා නේ?"

"තඹ භාජනවලින් දැන් මොනවද කරන්න හදන්නේ?"

"ප‍්‍රශ්න අහන්න එපා කීවා නේ. කමක් නෑ ඒකත් කියන්නම්. ඇතුළේ ඉන්න භූතයට මගේ මන්ත‍්‍රවල බලය යවා ගන්න ක‍්‍රමයක් ඕන කරනවා."

තවත් ප‍්‍රශ්න කිරීමකින් තොර ව කඩ හිමියා කොහේදෝ තිබුණු ඇලුමිනියම් භාජනයක් ගෙනාවේ ය. "මගේ ළඟ තඹ ඒවා නැහැ. ඇලුමිනියම් විතරයි!"

"අපේ රටේ ඕනම දුප්පත් ගෙදරක වුනත් තඹ භාජනයක් වරදින්නෙ නෑ. ඔහේ මුදලාලි කෙනෙක්ලු. ඒත් මෙලෝ දෙයක් නෑ. ඉටි පන්දම් නෑ. ලයිට් නෑ. තඹ භාජනත් නෑ."

"අපේ ගමේ ගෙදර නම් තඹ, රිදී ඔය ඕනෑ එකක් තියෙනවා."

"එහේ තිබිලා දැන් ඇති පලේ මොකක්ද? හොල්මන තියෙන්නෙ මෙහේ. මේ ඇලුමිනියම් භාජනේ මට එච්චර විශ්වාස නෑ. ඒත් උත්සාහ කරලා බලමු" එසේ කියමින් යකැදුරා ඇලුමිනියම් භාජනය ගෙන පොළවේ ගැසුවේ ය. ඒ සමඟම ඇතුළතින් ද ජෝගුව යමක හැපිණි.

"ඔය භාජනේ කඩන්න එපා" කඩ හිමියා කෑ ගැසුවේ ය. ඔහු ගේ ඉල්ලීම කනට නො ගත් යකැදුරා තවත් කීප වරක් ම භාජනය පොළොවේ ගැසුවේ ය. "ඒක හොඳ ලකුණක්. දැන් භූතයා කතා කරන්නයි සූදානම. ඌත් එක්ක කතා කරන ක‍්‍රමය මම දන්නවා" කියමින් යකැදුරා තම ඇඟිලි පුරුක්වලින් (මෝර්ස් සංඥාවක හඩ අනුකරණය කරමින්) කිසියම් ලතාවකට ඇලුමිනියම් භාජනයට තට්ටු කෙළේ ය.

"හයියෙන් හුස්ම ගන්න එපා කථා කරන්න එපා" යකැදුරා අවවාද කෙළේ ය. "මට පණිවිඩයක් ලැබෙනවා. පින් බලාපොරොත්තු වෙන ආත්මයක්ලු. ඔහේ කාට හරි, කවදා හරි වැරැද්දක්, අපරාධයක් කළාද?"

"අපෝයි නෑ" කඩ හිමියා කීවේ බියෙනි. "මම කවදත් පින් අතේ වැඩ කරපු කෙනෙක්."

යකැදුරා ඔහුට බාධා කරමින්, "මට නෙවෙයි කියන්න ඕන. අර භූතයාටයි. ඔහේ කවදා හරි... කොහේ හරි... පොඩ්ඩක් ඉන්න. ඔන්න මට දැන් ඇහෙනවා පණිවිඩේ." කියමින් ඇලුමිනියම් භාජනය කනට ළං කර "ඔහේ කවදා හරි, කාගේ හරි අඹුවක් එක්ක එහෙම නැත්නම් සල්ලිත් එක්ක ගනුදෙනුවක් තිබුණ දැ" යි විමැසී ය.

කඩ හිමියා බියෙන් තැති ගත්තේ ය. "හපෝයි නෑ. කවදාවත් නෑ."

"එහෙම නම් මොනවද මට මේ ඇහෙන්නේ. වැන්දඹු ගෑනු කෙනෙක් වෙනුවෙන් දේපළ භාර ගත්ත විත්තියක්...?"

කඩ හිමියා මොහොතක් වේලා කල්පනා කෙළේ ය. මේ අතරතුර පිටවීමට මඟක් සොයමින් බළලා ද සුළං කවුළුවක නොනවත්වා හැපුණේ ය. කඩ හිමියා තැති ගත් ගමන් ම ය. "මොන දේපළක් ද? එහෙම දෙයක් කළා නම් මට හෙණ වදින්න ඕන. ජීවත් වෙන්න අවශ්‍ය හැම දේම මට දෙවියෝ දීලා තියෙනවා."

"මම ඔහේලට කිව්වා අනවශ්‍ය දේවල් කතා කරන්න එපාය කියලා. ඔහේ කවදා හරි අහිංසක ගෑනු කෙනෙක්ව බලෙන් වගේ තියා ගෙන හිටියද? පුංචි කාලේ කරපු වැරැද්දක් නම් සමාවක් ගන්න තිබුණා"

"ඒ කොහොමද"

"කොහොමද කියලා මම කියා දෙන්නම්. ඊට ඉස්සර ඇත්ත කියන්න"

"ඇයි?"

"වැරැද්ද ගැන අවංකවම පසුතැවිලි වෙනව නම් භූතයගෙ බල බිඳෙනවා"

නැවතත් ජෝගුවේ හඬ ඇසුණේ ය. කඩ හිමියා ගේ ඉවසීමේ සීමාව ඉක්වා තිබුණෙන් "අනේ ඒක කොහොම හරි නවත්තන්න. මට දැන් හොඳටම ඇති වෙලා" යයි කීවේ ය. යකැදුරා ඔහු ළඟ තිබූ කපුරු කැබැල්ලක් දල්වා එහි දැල්ල වට කිහිපයක් කර කවමින් සෑම දිසාවකටම ඇල්ලුවේ අනතුරක් නොකරන ශුභවාදී භූතයන් සිටී නම් ඔවුන් ගේ පිහිටාරක්ෂාව කරුණාව ලබා ගැනීමේ අටියෙනි. කඩ හිමියා, මලානික තරු එළිය පමණක් ඇති මේ රාති‍්‍රයේ හොඳ හෝ නරක හෝ වේවා කිසිදු භූතයකු නොසිටීම මැනවැ යි සිතුවේ ය. නිශාචර පක්ෂියකු පියාඹමින් නැඟූ අමිහිරි නාදය කෙමෙන් නෑසී ගියේ ය. ඒ හඬට කන් දෙමින් කඩ පිළ මත වාඩි වී සිටි කඩ හිමියාට, තමන් මනුෂ්‍ය වර්ගයා ගෙන් පිරුණු භෞතික ලෝකයෙන් සම්පූර්ණයෙන් ම වෙන් වී, අමනුෂ්‍ය පිශාචයන් ගේ ලොවක තනි වී ඇති බවක් හැඟිණි.

මෙහි දී යකැදුරා කඩ හිමියා අමතමින් "දැන් ඔහේගේ හිත සන් සුන් කර ගන්න. මම කියන දේ ඒ විදියටම කියන්න" යයි කීවේ ය. "හැබැයි බොරු කියන්න එපා. ඔහේගෙ ඔළුව පැළේවි. භූතයා ඔහේගෙ මොළේ එළියට ඇදලා තමයි නතර වෙන්නේ"

"හපෝයි මොනවද මම කරන්න ඕන?"

"මම කියන වචන ඒ විදියටම කියන්න... මම මෙපමණ කාලයක් ඉතා හොඳ ජීවිතයක් ගත කළා."

කඩ හිමියාට ඒ වචන කිහිපය එලෙස ම කීමට කිසිදු ගැටලුවක් නො වී ය. අනෙකුත් කුලී නිවැසියන්ට නොඇසෙන පිණිස ඔහු ඒවා රහසින් මෙන් කෙඳිරුවේ ය.

"මම කවදාවත් කාටවත් වංචාවක් කරලා නෑ" යකැදුරා කීවේ ය.

"මම කවදාවත් කාටවත් වංචාවක් කරලා නෑ" කඩහිමියා ද කීවේ ය.

"කවදාවත් කාගෙවත් දේපළක් අයිති කර ගෙන නෑ" යකැදුරා කීවේ ය.

කඩ හිමියා එය කීමට ගොස් අතර මඟ දී නවත්වා "මොන දේපළක් ගැන ද ඔය කියන්නේ?" යයි විමැසුවේ ය.

"මම දන්නෙ නෑ" යකැදුරා භාජනය තම කනට ළං කර "මට ඇහෙන විදියට මොනවා හරි වැරදි දෙයක්" යනුවෙන් කී ය.

"අනේ ඒක මගේ වැරැද්දක් නෙවෙයි" කඩ හිමියා හඬන්නට විය. "ඒක මගේ වැරැද්දක් නෙවී. මට ඒ දේපළ මට ලැබුණා. එච්චරයි."

"ඒවා කාගෙද?"

"හොනප්පා කියන මගේ යාළුවගෙ. මගේ අසල්වැසියා. මම හුඟක් ළඟින් ඒ පවුල ආශ‍්‍රය කළා. අපි එක ළඟ තිබුණු කුඹුරු වගා කළා. එයා අන්තිම කැමති පත‍්‍රය ලිව්වා. ඊට පස්සෙ ආයෙ කවදාවත් දැක්කේ නැහැ"

"අන්තිම කැමැත්ත ඔහේගෙ නමටයි ලිව්වෙ?"

"මම එහෙම කරන්න කීවේ නෑ. ඒත් එයා මට බොහොම ලැදිවයි හිටියේ..."

"එයාගෙ මිනිය හම්බ වුණාද?"

"මම කොහොමද දන්නෙ?"

"එයාගේ ගෑනිට මොකද වුණේ?"

"එයා ජීවත්ව හිටපු තාක් කල් මම ඇයව බලා කියා ගත්තා"

"එකම ගෙදර?"

"මෙහේ නෙවෙයි. ගමේ..."

"ඔහේලා අඹු සැමියෝ හැටියට හිටියා?"

කඩ හිමියා මොහොතක් නිශ්ශබ්දව සිට "කවුරු හරි එයාව බලා ගන්න එපැයි" කීවේ ය.

"කොහොමද ඇය මැරුණේ?"

"මම මීට වඩා එක වචනයක් කතා කරන්නෙ නෑ. මම කියන්න තිබුණු ඔක්කොම කිව්වා. ඊට පස්සෙත් අර භූතයා එළියට ඇදල දැම්මෙ නැත්නම් තමුසෙට වෙන්නෙත් අරුන්ට වෙච්ච දේමයි" කියමින් කඩ හිමියා ක්ෂණයකින් ඉදිරියට පැන යකැදුරා ගේ බෙල්ලෙන් අල්ලා ගත්තේ ය. "මගෙන් ඔක්කොම දේවල් අහ ගත්තා. දැන්වත් ගනිං අර භූතයා එළියට නැත්නම්?" යනුවෙන් කියූ කඩ හිමියා, යකැදුරා අඳුරු කඩ කාමරය තුළට ඇද ගත්තේ ය. හදිසියේ කඩ හිමියා ගේ දෘඪ ග‍්‍රහණයට හසු වූ යකැදුරා බියෙන් ඇළැලී, එක හ¾ඩින් කළ බෙරිහන් දීමට කඩය ඇතුළේ පැවතුණු බෙලෙක් හඬ ද යටපත් විය. කඩ හිමියා දොරකඩ රැකවල් ලා ගෙන සිටි අතර, යකැදුරා ඉවක් බවක් නොමැති ව අඳුරේ අත පත ගාමින් සිටිය දී ජෝගුව ඔහු ගේ දෙපාවල වැදුණි. ඔහු මර බියෙන් "අපෝයි මම ඉවරයි" යනුවෙන් කෑ ගැසුවේ ය. බළලාට එළිමහන පිළිබඳ ව ඉවෙන් මෙන් කිසියම් දැනුමක් ලැබිණි. ඌ ලද අවසරයෙන් ජෝගුව හිසේ දරා ගෙන ම එළියට පැන හැල්මේ දුව ගොස් වීථියට පැන්නේ ය. යකැදුරා ද, කඩ හිමියා ද නිසොල්මනේ ඒ දෙස බලා සිටියහ.

"ඒ බළලෙක් නේ" කඩ හිමියා කීවේ ය.

"ඔව්. බළලෙක් වගේ පෙනුණට ඔහේ කොහොමද කියන්නෙ ඌට ආවේශ වෙලා හිටියේ මොකාද කියලා?"

ඒ කියමන ඒත්තු ගත්තාක් මෙන් කඩ හිමියා මොහොතක් නිශ්ශබ්ද ව සිට "ඌ ආයෙමත් ඒවිදැ?" යි විමැසුවේ ය.

"කියන්න බෑ. එහෙම කරදරයක් වුණොත් මට අඬ ගහන්න." යයි කියමින් යකැදුරා තම කුටියට යෑමට සැරැසුණේ ය.

"මගේ පඬුරු ගැන දැන් කරදර වෙන්න කාරි නෑ. හෙට උදේ බලා ගමු."

Nissanka Rajapaksa

unread,
May 7, 2024, 9:07:12 PMMay 7
to INDRAKA group
36

බත්
ලාංකීය දමිළ ලේඛක නීර්වෛ පොන්නයියන් ගේ 'සෝරු' කෙටිකතාවේ සිංහල පරිවර්තනය 

පරිවර්තනය - රවී රත්නවේල්

අහස අමු හෙළුවෙන්.

ඒ මැද තිබුණු ඉර මේ ලෝකේ හැමදේම පුච්චන්න ගත්තා.

උඩ බලියාන උන්නු මහ පොළොව. තමන්ගේ වඳකම ගැන හිතලා හූල්ලන ගෑනියෙක් හුස්ම පිඹිනව වගේ, වමාරන දූවිල්ල හුළඟට මුහුවෙලා ගහගෙන යනවා.

පැතිරුණු බිම්කඩ, ආදරයක් නැති හිතක් වගේ වේළිලා ගිහින්, තෙත ගතියක් නැති පොළොව ඉරිතළලා. ඒ හිස් බිම් තීරුවේ කෙළවර තල් කැලෑවක්. ඒක පහු කරගෙන ගියොත්...

කම්බන්පුලම්.

කම්බන්පුලම් ගැන ඔයාලා දන්නවද?

නමට නම් ඒක සරුසාර ගමක්. ඒත් ඇත්ත ඒක නෙවෙයි. කටුපඳුරු. ගල්මුල් පිරිච්ච තල් කැලෑවට තමයි කම්බන්පුලම් කියන්නෙ. ඒකෙ තැනින් තැන ඉබි කට්ට අනිත් පැත්ත ගැහුව වගෙ පුංචි පුංචි පැල්පත්.

කම්බන්පුලම් පපුව උඩ උසට උසේ වැවුණු කොහොඹ ගහක්. ඒකෙ කොළ කරවෙලා, කොරවෙලා ගිහින්.

කොහොඹ ගහ යට මේ රටේ 'රජවරු' හතරපස් දෙනෙක් උපන් ඇඳුමින් වැලිකෙළියෙ.

ලී දඬු හතරක් හිටවලා, ඒක උඩ පොල් අතු දෙකක් හෙවිල්ලලා. ඒක තමයි ඒ අය ගෙ දේවාලෙ.

දෙන්නෙක් විතර පරණ ටකරං කෑලි දෙකක් බෙල්ලෙ එල්ලාන ඒකෙන් 'මෝලම්' ගහනවා. ටකරම් කෑල්ලක් අහු උණෙ නැති උන් තමන්ගෙ පස්සා පැත්තයි, කලවයි මෝලමක් කර ගෙන, තවත් කට්ටියක් කෙහෙල් පට්ටා කටේ ගහගෙන නාදස්වරම් පිඹිනවා.

පූසාරිට දෙයියො වැහිලා!

උඩ පැන පැන නටන පූසාරි ගේ අතේ කෙහෙල් පට්ටයක්. ඒක තමයි එයාගෙ පිහිය.

බෙල්ලෙ ලණුවක් ගැට ගහපු එකෙකුව තව එකෙක් ඇදන් එනවා. හතර ගාතෙ ගාටගෙන එන ඌ එළුවෙක්.

පූසාරි දෑත බදල පිහි පාර දෙනවා.

භක්තියේ තරම!

කම්බන්පුලම් ගමේ වැඩිහිටියො දේවාලෙ මංගල්ලෙ කරලා ගෙවිලා ගියේ තවම දවස් දෙක තුනයි.

එදා ලොක්කන් ගෙ මංගල්ලෙ... මෙදා පොඩ්ඩන් ගෙ මංගල්ලෙ.

'ඒයි... මෙහෙට වරෙල්ලා... දුවලා වරෙල්ලා!' සද්දෙ ආපු දිහාවට හැමෝගෙම ඇස් හැරිලා.

'අන්න අරක පටං අරගෙන, බත් දෙන්නයි යන්නෙ, දුවලා වරෙල්ලා....'

පොඩ්ඩන් ගෙ ඇස්වලට එළිය වැටිලා. උඩ පැනිල්ලයි කෑගැහිල්ලයි එක්ක සතුට දෝර ගලනවා.

කොටාට ලොකු සතුටක් දැණුනා, ඒත් ඒ ටික වෙලාවකටයි. කොටා ගේ යටි බඩේ කැක්කුම, අතපය වෙව්ලනවා, ඔළුවත් කැරකෙන්න ගත්තා.

'ඇයි මේ.'

'ඇයි?'

'ඌට හාමතෙ.'

හිස් බඩේ කැක්කුම ඉවසන්න බැරි තරම්, ඊයේ හවස බීපු කැඳ ටික විතරයි. උහුලන්න බැරි බඩ ගින්න කොටාගෙ බඩ කලතන්න ගත්තා.

කොටාගේ ඉනේ ගුලියක්. පණ තියෙන ගුලියක්. ඒ කොටාගෙ මල්ලි මුත්තු, අනිත් අතේ පරඬැල් පොල් අතු පෙට්ටියක්.

කොටා ඔයාලත් දැකලා ඇති. ඒත් ඔයාලට මතකද දන්නෙ නැහැ.

නම කොටා උනාට මොකද උගේ උසේ අඩුවක් නැහැ. ඒත් දෙමව්පියන්ට හරියට නම දාන්න බැරිවෙලා වෙන්නැති.

දිගටි, කෙසෙඟ කකුල්, වට්ටක්කා ගෙඩියක් වගේ බඩ, පටු පිම්බුණු පපුව, කම්බිකූරු වගේ තඹපාට වෙච්චි කොණ්ඩෙ, කිලුටු ගෝනියක් වගේ ඉනට පොඩි තුවා කෑල්ලක්.

කොටාට පණ තියෙනවය කියල අපට හිතෙන්නෙ උගෙ පත්තුවෙන ඇස්ගෙඩි දෙක හින්දයි.

කොටාට තිබුණේ ඉවරයක් නැති බඩ ගින්නක්.

කොටාට අවුරුදු අටක් විතර ඇති. කොයි වෙලාවේ බැලුවත් කොටාගෙ උකුළේ අර පණ තියෙන ගෙඩිය එල්ලිච්ච ගමන්, අවුරුදු දෙකක් වෙච්ච කොටාගෙ මල්ලි ‘මුත්තු’ හැම වේලාවෙම කොටාගෙ ඇඟේ එල්ලිලයි ඉන්නෙ.

මුත්තු පෙනුමෙන් අයියට හපන්, මොන වෙලාවක බැලුවත් තල් ඇටේ උරපු හරකගෙ හොම්බ වගේ කිලුටු මූණක්, කැටි ගැහිච්ච කොණ්ඩේ, දවස පුරාම නහයෙන් හොටු පෙරෙන්න හරියට රා පෙරෙනව වගෙ. නහයත් උඩු තොලත් අතරෙ පල්ලමත් හොටුවලින් පිරිලා. මහපටැඟිල්ල කටේ ඔබා ගත්තු ගමන්, කටකොනෙන් කෙළත් බේරෙනවා.

කොටාගේ ළතෝනිය කන වැටුණු පොඩි උන් ටික සෙල්ලං කිරිල්ල පැත්තක දාලා තම තමන්ගෙ පැල්පත් අස්සට දිව්වා. එළියට එද්දි...

ඒ හැමෝගෙම අත්වල පොල් අතු වට්ටි, 'රජ' සේනාව ගාන්ධිනගර් දිහාට දුවන්න ගත්තා.

ගාන්ධිනගර් තියෙන්නෙ නීර්වේලි ගමට නිරිතදිග පැත්තෙ. බොහොම උජාරු ගමක්. නීර්වේලියේ මහ පරම්පරාව ජීවත් වුණේ ඒ ගමේ, ඒ ගමට නම්බුවක් උණේ ඒ පරම්පරාවයි.

කම්බන්පුලම් ගමේ රජවරු ටික මේ යමින් ඉන්නෙ ගාන්ධිනගර් අරුණාචලම්ගෙ ගෙදර.

අරුණාචලම්ලගෙ ගෙදර ලොකු දානයක්.

’සාදයක් වගේ දානයක්’

කිහිපදෙනෙක්ම බත් පොට්ටනිත් කර ගහගෙන පිට වුණා.

දානෙ පටන් ගත්තා.

එසේ මෙසේ දානයක් නෙවෙයි.

හාල්මිටි දහයක් දොළහක් තැම්බෙන දානයක්. ලොකු ලොක්කොත් ඇවිල්ලා. කඩිගුලක් වගෙ.

කට්ටිය කෑම කන්න පටන් අරගෙන පැය දෙකකටත් වැඩියි. මාළු පිණි, රස කැවිලි, පලතුරු, පායාසම්... තව හුඟක් කෑම ජාති.

එකමත් එක කාලෙක රෝමාපුරියේ ප‍්‍රභූන්ගෙ ගෙවල්වල සාද පවත්වද්දි, ඒ අයගෙ මිදුලෙ ලොකු හිස් බැරල් තියා තියනවලු. සාදෙට ආපු ඈයො බඩ පිරෙන්න කාල, ඇඟිල්ල කටේ ඔබලා කාපුවා වමනෙ කරල හිටං, ආයෙත් ගිහින් කනවලු. ඒ විදිහට කිහිප සැරයක්ම කනවලු. සාදය පවත්වන කෙනා සතුටුවෙන්න එහෙම කළාම ලු. අරුණාචලම්ලගෙ දානෙට ආපු අයටත් බඩ ගිනි නැතත්, 'ඇති, ඇති' කියල කිව්වත්, 'කන්න, තව ටිකක් කන්න' කියල බල කෙරුණා.

ඒත් කම්බන්පුලම් රජවරු ටික?

ඒ අය අරුණාචලම් ගෙ වැටේ එල්ලිලා බලං ඉන්නවා. බඩ හාරන තරම් බඩගින්න. කටින් කෙළ බේරෙද්දි, ඇස්වලින් දානෙ බුක්ති විඳිනවා.

තවමත් දානය ඉවර නැහැ.

බලන් ඉඳිල්ලෙ ඉවරයකුත් නෑ.

'සින්නන්, මොකෝ මේ අද හාමුලා ගොඩක් ඇවිත් ඉන්නෙ.'

'අද දානෙනෙ ඒකයි.'

'ඒ ඇයි?'

'අයියෝ... මෙයා ඒකවත් දන්නෙ නෑනෙ. පොඩි හාමු මළානෙ ඒකට'

'අර... මානික්කවාසගර් මළේ ඒකට ද?'

'ආ... ඔව් ඔව් ඒකට තමා.'

'මක්වෙලාද මළේ?'

'කොටා ඒක ඇහුවෙ ලොකු උනන්දුවකින්.'

'මළේද? මළේ වහ බීලා...'

'ඒ මොකෝ?'

'කසාද බඳින්න දුන්නෙ නෑ කියල.'

මානික්කවාසගර්, අරුණාචලම් ගේ එකම පුතා. උපාධියක් එහෙම කරලා කොළඹ රස්සාවකයි හිටියෙ. තරුණකම... තනිකම... ආදරය...

පෙ‍්‍ර්ම තරගයෙන් මානික්වාසගර් පැරදුණා. එයාට පිහිට වුණේ පොලිඩෝල් වස කුප්පිය තමයි.

ඒ කතාව කම්බන්පුලම් ගමේ කොල්ලො කුරුට්ටො ටික එහෙන් මෙහෙන් දැන ගෙනයි හිටියෙ.

ඒත් කොටාට නම් ඒක ප‍්‍රහේළිකාවක්!

අපේ ගෙවල්වලත් මේ වගේ දාන දෙනව නම්... බත්, මාළුපිණි, රස කැවිලි... හප්පා... අපිටත් බඩ පැළෙන්න කන්ඩ තිබුණා... එතකොට... කන්දන්... සින්නන්... වේලන්... ලොකු අය මේ හැමෝම ඇවිත්... කොටා කල්පනාවක පැටලුණා.

දානය ඉදිරියටම ඇදී යනවා.

කම්බන්පුලම් කට්ටිය ඒ දිහා බලා ඉන්නවා.

'මොකෝ බං අපේ ගෙදර දානයක් දෙන්නෙ නැත්තෙ?' කොටා ඇහුවා.

'උඹලගෙ ගෙදර තවම කවුරුවත් මළේ නෑනේ' දිගා කීවා.

'අපේ ගෙදරත් මළොත් දානෙ දෙනවා... ඒ කියන්නෙ බත් කත හැකි...'

'කොහොමෙයි මැරෙන්නෙ...?’

’වස බිව්වොත්...?'

කොටාගේ මොළේ නහර දිගේ මොකෙක්දෝ හැඟීමක් ගාටනවා වගේ දැනුණා... ඔළුව කසමින්ම කොටා කල්පනාවට වැටුණා.

'දිග කුප්පියක්, රතු ලේබලයක්, ඔලු කට්ටක්, ඇටකටු දෙකක්' කොටා ගේ හිතේ මැවිලා මැකිලා ගියා.

කොටාගෙ ඇස් පත්තුවෙලා මූණට එළිය වැටුණා.

'හා... හා... පේළියට ඉඳපල්ලා.'

ඇරුණාචලම් ගිගිලුවා.

'අනේ හාන්දුරුවනේ... මට... මට...'

'අඩෝ... මමයි ඉස්සෙල්ලම ආවේ.'

'නෑ යකෝ මමයි ආවේ.'

'කාලකන්නියා, මූසලයා... තු:, නොදකින් විතරක්, සින්නන් වේලන්ගේ ඇඟට කෙළ ගැහුවා.

වේලන් සින්නන්ගෙ කොණ්ඩෙන් අල්ලා ඇද්දා.

'අනේ... බොල... කාලකන්නි හැත්ත කෑ නොගහ ඉඳහල්ලකො.'

අරුණාචලම් අතේ තිබුණු වේවැලෙන් දෙක තුනක් වනන ගමන් බෙරිහන් දුන්නා.

'හාමු මහත්තයෝ, මට දෙන්ඩ... ඉස්සෙල්ලම ආවේ මමයි.'

කොටා හෙල්ලෙන පාටක් නෑ. ඌ බත දිහාම බලා උන්නා.

'ඒයි..., පර බල්ලනෙ! කෑ නොගහ ඉඳපල්ලකෝ.' අතේ තිබුණු කෝටුවෙන් කොල්ලො කුරුට්ටො දෙතුන් දෙනෙකුට කෝටුපාර දෙන ගමන් අරුණාචලම් ආයෙත් බෙරිහන් දුන්නා.

රොස් බත, කොස් මාළුව, කෙසෙල් මාළුව හැමෝගෙම පොල් අතු පෙට්ටිවලට වැටුණා.

කොස්, කෙසෙල්, මළ බතට දෙන මාළුපිණි.

කොටාගේ ඇස් බතේ ඇලිලා තිබුණා. ඒත් හිත මොනවදෝ හොයමින් කොහේදෝ දිව්වා.

අනිත් උන් බත් අහුරු අහුරු ගිලින්න ගත්තා.

හැමෝගෙම මුහුණ පිපිලා.

ඒ මුහුණුවල හදිස්සියත් පිරිලා.

මුත්තු කොටාගේ සෙනෙහෙවන්ත මල්ලියා. මොකක් ලැබුණත් කොටා, මුත්තුට නොදී කන්නෙ නැහැ. මුත්තුව අඬවන්නෙ නැතුව තියා ගන්නේත් නිදි කරවන්නෙත් තමන් යන යන තැනට උකුළෙ තියා ගෙන යන්නේත් හුරතල් කරන්නේත් කොටා. සෙල්ලම් කරන්නෙත් දෙන්නා එකටයි. මුත්තු නැතිව මොහොතක් කොටාට ඉන්න බැහැ.

කම්බන්පුලම් 'රජවරුන්' ගේ බඩවල් පිරෙමින් තිබුණා.

* * * * *

අහස අඳුරු වෙන්න ගත්තා.

අලුත් ඇඳුමින් සැරසුණු පොන්නිගේ පෙනුම නැවුම්.

සින්නන්, සෙල්ලන්, වේලන්, කන්දන් හා කොටා ගේ යාළුවො ලොකු පොඩි හැමෝම කොටාගෙ ගෙදර ඇවිත්.

මුත්තු එහෙ මෙහේ දුව පනිමින් සෙල්ලම් කරකර සිටියා.

ගෙයක් උසට බත් ගොඩවල්, එක එක ජාති වෑංජන, රස කැවිලි.

ඒ සුවඳ කොටා ගේ නාස් පුඩුවලට රිංගුවා.

කටට කෙළ ඉනුවා.

ලොකු ලොක්කෝ එනවා... යනවා...

ලොකු සාදයක්....! බත්....!

කොටා ගේ තොල් අතරින් හිනහව උතුරන්න ගත්තා.

කොටා ගේ පිට සතෙක් කනවා වගේ දැනුණා. නින්දෙන්ම පිට කසපු කොටා හැඟීමක් නැතුවම

බත්... බත්... තොල් මැතුරුවා.

* * * * *

ඈතක කුලියක් කරන්න ගිය පොන්නි ගෙදර එන්න රෑ බෝවුණා. ගෙදර ආපු පොන්නි හනි හනිකට කැඳ උයන්න ගත්තා.

බුක්... බුක්... සද්දෙන් කැඳ හැළිය නටනවා.

ඒකේ සුවඳ කොටාගේ නාස්පුඩු අස්සටත් ගියා.

ඌට යක්‍ෂ බඩගින්නක් දැනුණා. කටට කෙළ ඉනුවා.

මුත්තුව බදාගෙනම කොටා බිම වැටිල වකුටු වෙලා.

'පුතේ... මගෙ පුතේ... ඇයි... පුතේ උඹට මක්වෙලාද?'

පොන්නි කොටාව ඇහැරවන්න ගත්තා.

කොටා තද නින්දක.

'පුතේ... නැගිටහං... නැගිටල මේ කැඳ ඩිංගිත්ත බීහං පුතේ.'

පොන්නි කොටාව උස්සලා ඉන්දෙව්වා. ඌ ආයෙත් නින්දට වැටුණා.

'ඒයි... කාලකන්නියා... මූසලයා... දවල් තිස්සෙ නටලා නටලා මෙතන...'

'චටාස්'

කොටා ගේ පිට හරහා පාරක් වැදුණා.

අන්දුන් කුන්දුන්වුණු කොටා ගැස්සිලා නැඟිට්ටා.

පොන්නි කොටාගෙ අතේ කැඳ කෝප්පය තිබ්බා.

මුත්තු?

මුත්තු තද නින්දේ.

පොන්නි ගේ පියයුරු හොඳටම බරවෙලා. කිරි උනන්න උනන්න රිදිල්ල වැඩි වුණා.

පොන්නි මුත්තුව වඩාගෙන පපුවට තුරුල්කර ගත්තා.

කිරිවලින් පෙඟිල තිබුණ තනපට පැත්තකට කරලා කිරි ටිකක් පොවන්න ගත්තා.

'මයෙ පුතේ, මුත්තු... පුතේ... මුත්තු...'

ඒත් මුත්තු ගේ ඇස් ඇරුණේ නෑ.

පොන්නිගේ තන පුඩුවෙන් කිරි බිංදු වෑස්සුණා.

පොන්නි පුතාව ඉන්දවන්න හැදුවා.

ඒත් මැළවෙලා ගිය මෑකරලක් වගේ මුත්තු ඇදගෙන වැටුණා.

'මුත්තු... මයෙ රත්තරනේ...'

කුප්පිලාම්පුව අතට ගත් පොන්නි මුත්තු ගේ මුහුණට ළං කෙරුවා.

නිල් වෙච්ච මුත්තුගේ මූණ වේලිලා... දරදඬු වෙලා.

කට කොණේ සුදු පෙණ. ඇහැත් කටත් අහසට ඇරිලා.

ඇස් ගෙඩි දෙක හෙළ වුණේ නැහැ.

'අනේ මයෙ පුතේ...!'

නිරුවත් අහසත්, මහ පොළවත් ඒ අතර තිබුණ හැමදේමත් අඳුර ගිල ගත්තා.

කරුවලත් නිශ්ශබ්දකමත් පළාගෙන පොන්නි ගේ ලතෝනිය මතුවුණා.

පුතේ...?

Nissanka Rajapaksa

unread,
May 8, 2024, 7:39:41 PMMay 8
to INDRAKA group
37
යතුරු 

මහාචාර්ය පියසීලි විජේමාන්න

‘චිහ්!’ මම අනෙක් ඇලයට හැරෙමි. කන අසල මොර දෙන මදුරුවන්ට පහරක් දෙමි. එය වැදෙන්නේ මගේ කනට ම ය. ‘මොන කරුමයක්ද මන්දා!’

“නින්ද යන්නෙ නෑ නේද නෝනා? පව් නෝනට!”

සුමනා කියයි. ඇය ද නිදි නැති සේ ය. ඈ මට අනුකම්පා කරයි. මොන ලජ්ජාවක් ද! මගේ ශරීරයත් ආත්ම ගෞරවයත් ස්වාමි දූහිතෘත්වයත් සුමනා ගේ පැදුර උඩ බෑවී ඇත. සුමනා වැතිර ඉන්නේ නිකම් ම සිමෙන්තිය මත ය. ඇගේ ඔළුව පමණක් මගේ පා අසල පැදුරේ ඇත. මට මගේ හිස තබන්නට සිදු ව ඇත්තේ සුමනා ගේ කොට්ටය මත ය.

ඉවසන්නට බැරි තෙල් ගඳක් එයින් වහනය වේ. වරින්-වර මම එය ඉවතට තල්ලු කරමි. එවිට මගේ ඔළු ගෙඩිය ‘ඩග්’ ගා බිම වැදෙයි. උහ්! එහාට හැරෙමි. මෙහාට හැරෙමි. කොට්ටයක් නැති ව මට නිදා ගන්ට බැරි ය. ඉබේ ම කොට්ටය නැවත මගේ ඔළුව යටට ඇදෙයි. එහි කුයිල හඟවන හඬක් මගේ නාසයෙන් පිට වෙයි.

“අනෙක් කොට්ට උරය හෝදලා. අද වැස්සනෙ. වේලිලා නෑ”. ඇගේ කොට්ටය හා මා අතර අරගලය තේරුම් ගෙන සුමනා කියයි. මවිසින් සුමනාට තවත් කොට්ටයක් ද අමතර ඇතිරිලි දෙකතුනක් ද දිය යුතු ව තිබිණි. විශේෂයෙන් ම, ඇයට ඇඳක් සපයා දී තිබුණේ නම් මා අද අත්දකින අපහසු ව හා අසහනය මඳක් හෝ අඩු වනු ඇත.

 මේ කාමරයට මදුරු දැලක් නම් නැති ව ම බැරි ය. එක අතකට ඒවා ඉටු කිරීමට තරම් අවස්ථාවක් අපට නො වී ය. සමන් හා මා විවාහ වී ඇනෙක්සියක පදිංචි ව සිටි කාලයේ අපට සේවිකාවක් නො සිටියා ය.

අප බැංකු ණයක් ලබා කෑගල්ලේ මේ නිවස මිල දී ගත් පසු සමන් ගමේ ගෙදර තනි ව වසන ඔහු ගේ තාත්තා මෙහි කැඳවා ගෙන ආවේ ය. තාත්තා ඉන්නේ අසනීප ගානේ ය. ඒ සමඟ මට වැඩ අධික විය. එතරම් කරදරයක් නැති ව මට සුමනා සොයා දුන්නේ මගේ පාසලේ ම උගන්වන නිලන්ති ය.

මට සිදු ව ඇති මේ අකරතැබ්බයට වරදකාරිය මම ම ය. කෑගල්ලේ රෝහලෙන් කරන ලද ප‍්‍රතිකාරවලින් තාත්තා ගේ ‘බඩ පපුව දැවිල්ල’ සුව නො වූ නිසා සමන් ගේ කොළඹ යහළුවකු ගේ උපදෙස් පිට සමනුත් මමත් තාත්තා ජයවර්ධනපුර ශික්ෂණ ආරෝග්‍යශාලාවට කැඳවා ගෙන ගියෙමු. වෛද්‍ය පරික්‍ෂණ කිහිපයකට පසු තාත්තා වාට්ටුවකට ඇතුළත් කරන ලදී.

මගේ අත්බෑගයේ බර අඩු කර ගැනීමට කුඩා විදුලි පන්දම, තාත්තා ගේ බෙහෙත් මඩිස්සලය, වතුර බෝතලය ආදිය සමඟ මගේ යතුරු කැරැල්ල ද උදේ ආරෝග්‍යශාලා පරිශ‍්‍රයේ දී මම සමන් ගේ කාර්යාල බෑගයට දැමුවෙමි. ආපසු නිවසට අවුත් තාත්තාටත් තමාටත් කමිස තුනහතරක්, සරම් දෙකක්, තුවා දෙකක් හා තාත්තා ගමේ සිට එන විට ගෙනා රෝග චිකිත්සක වාර්තා ආදිය ගෙන හෙට උදේ කොළඹ එන ලෙස සමන් මගෙන් ඉල්ලීමක් කළේ ‘තත්තෙ බරපතලයි වගේ’ කියමිනි.

සමන් ඒ කීවේ සවස හතර හමාරට පමණ ය. කලබලය නිසා එය ඉල්ලීමකට වඩා අණ දීමක ස්වරය ගත්තේ ය. සමන් ගේ තොල-කට වියළි ඇත. ඔහු ගේ මුහුණේ පිළිබිඹු වූ අසරණකම නිසා ප‍්‍රශ්න කිරීමකින් තොර ව මම ගමනට පිටත් වූයෙමි. වැරදීම සිදු වූයේ එහි දී ය.

කෑගල්ලට ඒමට බසය අල්ලා ගැනීමේ තදියම මිස සමන්ගේ බෑගයෙන් යතුරු කැරැල්ල ගැනීමේ සිහියක් මට නොතිබිණි. මට යතුර මතක් වූයේ අපේ ගේට්ටුව ළඟට පැමිණි විට ය. ඒ වන විටත් අඳුර වැටී තිබිණි. ගේට්ටුවට ඉබ්බා දමා ඇත. මම සුමනාට කෑ ගෑවෙමි. කීපවරක් කෑ ගසා ගේට්ටුව ද හයියෙන් ශබ්ද කළ පසු “කවුද? නෝනද?” සුමනා ජනේලය හැර විමසුවා ය. මා බව සැක හැර දැනගත් පසු පිටුපස දොරෙන් ඈ පිටතට ආවා ය.

“කෝ මහත්තයා? නෝනලා අද එන එකක් නෑ කියලා මං ගේට්ටුවට ඉබ්බා දැම්මා. නෝනා තනියම?”

මම කතා නැති ව ගොස් පිටුපස දොරෙන් ඇතුළු වී දොර අසල ම කුස්සි බැංකුවේ වාඩි වූයෙමි. මගේ ඇස්වලට කඳුළු පුරා ඇත. උගුරේ මස්පිඩු පෙරළෙයි. සුමනා කුහුලින් මා දෙස බලා සිටියි.

“ලොකු මහත්තයට අමාරුද නෝනා?”...

“ඇයි නෝනා මහත්තයා? මේ මොකද?”

“ලොකු මහත්තයා ඉස්පිරිතාලෙ නැවැත්තුවා. මං ආවෙ ඇඳුම් අරන් යන්න.”

“අනේ! ඇත්තද?... දුක් වෙන්ඩ එපා. ලොකු මහත්තයාට සනීප වෙයි. මෙහෙ වාගෙද කොළඹ ඉස්පිරි.......”

“ඒක නෙමේ බං මගෙ ප‍්‍රශ්නෙ?”

“ඇයි එහෙනම් නෝනා මහත්තයෝ?”

මම කෙළ ගිලිමි. උගුර හිර වෙලා ය.

“ආ! ඒවා පස්සේ කතා කරමුකො. මම තේ එකක් හදලා රොටියක් පුච්චන්නම්කො. ගිහින් ඇඳුම් මාරු කරලා ඇඟ සෝ.....”

“ඒක තමා ප‍්‍රශ්නෙ. මම යතුරු කොළඹ දාලා ඇවිත්.”

“ආ! ආ! දෙයියෝ සාක්කි! කාමරත් ලොක් කරලා. ඒ මදිවට මැද දොරත් ලොක් කරලා...”

ඇත්ත! කොහේ හෝ යන විට නිවසේ ඉදිරි දොර, අල්මාරි, කාමර දෙක පමණක් නො ව කුස්සියේ සිට සාලය හා නිදන කාමර දෙසට ඇති පිවිසුම් දොර ද යතුරු ලෑම මගේ සිරිත ය. ඒ පිවිසුම් දොර යතුරු ලෑවේ විශේෂයෙන් ම සුමනා ගේ ඉල්ලීම පිට ය. “ඔය පැත්ත ඇරලා තියෙන කොට මට බයයි.” ඒ දොර වැසූ විට ඇයට බලා ගැනීමට තිබුණේ කුස්සිය, කුඩා ගබඩා කුටිය, පටු කොරිඩෝව හා ඇගේ කාමරය පමණි.

පිටුපස දොරෙන් එළියට යෑම ආරක්‍ෂා සහිත ය. පිටුපස දොරේ යතුර පමණක් සුමනා ගේ බාරයේ විය.

සුමනා මට තේ එකක් හදා රොටියක් පුච්චා මගේ පිඟානේ තබා ගොස් ඇගේ කාමරය අතු ගායි. මගේ ඇඟට දැනෙන්නේ පුදුම කෙඩෙත්තුවකි. මට කෑම රුචියක් නැත. මම තේ එක බී සුසුමක් පිට කළෙමි.

“අහළ-පහළක අඳුනන ගෙයක්වත් තියෙනවයැ. නෝනට නිදා ගන්ඩ. ඊටත් මේ රෑ... උදේට බාස් කෙනෙක්වත් අඬ ගහගෙන දොරවල් අරවා ගමු. එතකන් එළියේ බාත්රූම් එකෙන් මූණ හෝදා ගෙන මේ කාමරෙන්වත්... අනේ දෙයියනේ! අපේ නෝනට වෙච්ච දුකක්!”

කරන්නට දෙයක් නැත. මට ඇඬුම් එයි. මම උඩ ඇඳුම් උනා යට ඇඳුම් ලිහිල් කර සුමනා ගේ පැදුරේ ඇල වුණෙමි. සුමනා මගේ හැට්ටය සෝදා කුස්සිය අසල කොරිඩෝවේ වැනුවා ය.

“හා දැන් සේරම අමතක කරලා බුදියා ගන්ඩ.”

මා අසල වාඩි වී සුමනා මට පවන් ගසයි. මට දැනෙන්නේ මා ගල්තලාවක් මත වැතිර ඉන්නා සේ ය. මඳ වේලාවකින් සුමනා නිරාවරණ සිමෙන්තිය මත දිගා වූවා ය.

“මේ පැදුරෙම පැත්තක සුමනත් ඇල වෙනවකො.”

“මෙහෙම හොඳයි. වැහි පොද ගැහුවට මොකද හරි රස්නෙ.”

මම යතුරුවලට සාප කළෙමි. යතුරුවල අවශ්‍යතාව ඇති කරන හේතුසාධකවලට සාප කළෙමි. අතීතයේ මා පාසල් යන කාලයේ මා විශාල යතුරු කැරැල්ලක හිමිකාරිය වීමේ සිහින මැවු හැටි මට සිහි විය. අට ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින තෙක් මා නැවතී සිටියේ අනුලැන්ටි ගේ බෝඩිමේ ය.

තවත් ගැහැනු ළමයි හය දෙනෙක් එහි නැවතී සිටියහ. දිග පටු කාමරයක පේළියට ඇඳන් තබා තිබිණි. ඇඳ ඇරුණු විට වෙනත් ගෘහ භාණ්ඩයක් ලෙස අප එකෙකාට තිබුණේ ඇඳුම් රාක්කයක් පමණි. අපේ සපත්තුත්, පාසල් බෑගයත්, කුඩා ගමන් මල්ලත් ඒ රාක්කයේ යට තට්ටුවේ තබා ගත හැකි විය.

අපේ ගමේ ම පදිංචි නයනාත් මමත් සිකුරාදා හවසට පාසලේ සිට කෙළින් ම ගමට ආවෙමු. අනුලැන්ටිගේ සැමියා කොහේදෝ මොකක්දෝ රැකියාවක් කළේ ය. ඔහු ගෙරද ආවේ කලාතුරකිනි. ඔවුන් ගේ පුතා රැකියාවක් සඳහා මැදපෙරදිග ගොස් සිටියේ ය. ගෙදර වැඩට සීලක්කා සිටි අතර ‘රබර් රොටි’ සාදන පෑලිස් මාමා නිවසට ඈඳා අටවන ලද මඩුවේ නැවතී සිටියේ ය.

මගේ සිතේ එකල තදින් කා වැදුණේ අනුලැන්ටි ගේ උස මහත, හැඩරුව, ගති ගුණ ආදිය නො ව, ඇගේ ඉණේ එල්ලා ගෙන සිටි විශාල යතුරු කැරැල්ල ය. එහි එක එක හැඩයේ හා එක එක ප‍්‍රමාණයේ යතුරු විශාල සංඛ්‍යාවක් තිබිණි. ඇය ගමන් කරන විට යතුරු කැරැල්ලෙන් කිකිණි හඬක් නැඟී ආවේ ය.

කුස්සි ප‍්‍රදේශයේත් සාලයේත් නිදහසේ හැසිරීමේ අවස්ථාව අපට හිමි විය. අප පාඩම් කළේ දිග කෑම මේසය වටා ඉඳ ගෙන ය. අනුලැන්ටි කුස්සියට යාබද ගබඩා කාමරයේ දොර යතුරෙන් ඇර එහි කබඩ් එකිනෙක යතුරුවලින් ඇර එදාට එදාට අවශ්‍ය හාල්, පරිප්පු, කරවල, පිටි ආදිය සීලක්කාට දී නැවත ‘සිලිං, සිලිං’ ශබ්ද කරමින් එකිනෙක වසා දමයි. කීප වරක් ම ඇගේ ඒ කටයුත්ත දෙස මම කට අයා ගෙන බලා සිටියෙමි.

 විශේෂ අමුත්තකු ආ විට පිඟන් පෙට්ටිය යතුරෙන් ඇර කෝප්ප හෝ වීදුරු පිටතට ගෙන නැවත යතුරු දා වසයි. ඇගේ නිදන කාමරයේ අල්මාරි කීයක් තිබේ දැයි මම නො දනිමි. ඇය යතුරු කරකවමින් අරින වහන ශබ්දයට මම ආශාවෙන් කන් දී සිටියෙමි. කොටින් ම ඇගේ ශීතකරණය ද යතුරකින් අගුලු දැමිය හැකි ය. අනෙක් කෙල්ලන් ඇය නැති තැන ඇය විවේචනයට හා සරදමට ලක් කළ ද මට ඇය වීරවරියක වූයේ ඒ විශාල යතුරු කැරැල්ල නිසා ය.

කෙසේ හෝ බෝඩිමෙන් අස් ව ටික කලකින්, මට යතුරු කැරැල්ලේ පැතුම අමතක වෙමින් තිබිණි. විද්‍යාපීඨයේ ඉගෙන ගන්නා කාලයේ මට එක් ඉබි යතුරක් පමණක් තිබිණි. යතුරු ටික ටික මා වෙත එක් රැස් වන්නට වූයේ විවාහ වී ඇනෙක්සියේ පදිංචියට ගිය පසු ය.

අපට එහි දොරවල්වල යතුරු නම් ලැබුණේ එක එක බැගිනි. අනික් යතුරු ගෙවල් හිමියා ළඟ ඇතැ යි සිතූ මම කෝකටත් කියා ඇඳුම් අල්මාරි දෙක හා සාලයේ වීදුරු අල්මාරිය අගුලු දමා යතුරු දෙකතුන යතුරු මුද්දක අමුණා ගත්තෙමි. අපේ විවාහ මංගලෝත්සවයට සහභාගී වූ නෑ හිතවතුන් ගෙන් ලැබුණු පිඟන් බඩු, රයිස් කුකර්, බ්ලෙන්ඩර්, විදුලි පංකාව ආදිය මහගෙදර තබා තිබී ගෙන්වා ගත්තේ මේ ගෙදර පදිංචියට පැමිණි පසු ය.

මේ නිවසේ වැඩ නිම වී නැති නිසාත්, සුමනා තව ම අපට අලුත් නිසාත් ඇයට අමතක වීමේ ලෙඩක් තිබූ නිසාත් අප පිටත යන විට අල්මාරි ද ඉදිරි දොර ද කාමර ද මැද දොර ද යතුරු දමා වැසීමට පටන් ගත්තෙමි. මා කැමැති වුණා හෝ නැතුවා හෝ මගේ මුද්දේ දැන් ලොකු කුඩා යතුරු පහළොවක් පමණ ඇත. අපේ ලිපිනය සහිත ලොකට්ටුවක් ද මුද්දේ දම්වැලක අමුණා ඇත. ඉදිරි හා ප‍්‍රවේශ දොරටුවල ද අල්මාරියක ද යතුරු සහිත කුඩා කැරැල්ලක් මා සමන්ට ද දී ඇත.

පෙරළි-පෙරළි සිටි මට නින්ද යන විට උදේ හතරත් පසු වන්නට ඇත. මා තිගැස්සී අවදි වූයේ සුමනා කෑ මොර දෙන හඬිනි. මම වහා නැඟිට සාරිය පොරවා ගෙන කාමරයේ දොර ළඟට එන විට සුමනා “නෝනා” යි කෑ ගාගෙන දුව ආවා ය. ඇගේ ඇස් එළියට පනින්නට තරම් ලොකු ය. ඇගේ සර්වාංගය වෙව්ළයි. ඇයට කතා කර ගත නොහැකිය. ඈ ඉදිරිපස දොර දෙසට අත දිගු කර කර මොනවාදෝ තතනයි. මම මිදුලට බැස ඉදිරිපසට දිව්වෙමි.

“කඩලා... කඩලා... හොරු... යන්ඩෙපා ඇතුළට....” සුමනා මා පසුපස එමින් කෑ ගසයි. ඉදිරිපස දොර ඇර ඇත.

“මං මිදුල අතු ගාන්න ආවෙ. දොර වහලා තිබුණෙ. පා පිස්ස ගසා දාන කොට දොරේ වැදිලා දොර ඇරුණා... මේ මෙතන කඩලා. මේ අල්ලන්ඩ එපා... යන්ඩෙපා ආ... ආ...” සුමනා වළක්වද්දීම මම ඇතුළට දිව්වෙමි. සීලිමක් නැති නිදන කාමරයට උඩින් වහලේ උළු ගලවා ඇත. නිදන කාමරයේ දොර හෝ ගා ඇරිලා ය. අල්මාරි ද කටවල් ඇර ගෙන ය. අපේ ඇඳුම් සියල්ල බිම ය. මගේ කකුල් පණ නැති ව යන්නාක් මෙන් මට දැනිණි.

“නෝනා එළියට වෙලා ඉන්ඩ. මං අහල-පහළ කවුරු හරි එක්ක එන්නම්. පොලීසියට ටෙලිෆෝන් කරන්ඩ කියන්නම්. මොකවත් අල්ලන්ඩ එපා.”

https://archives.silumina.lk/punkalasa/20080309/_art.asp?fn=ar0803093


Nissanka Rajapaksa

unread,
May 9, 2024, 6:44:12 PMMay 9
to INDRAKA group
38
ගිලනකුගේ දින සටහන් 

- කමල් පෙරේරා 

විමලසිරි ලේඛකයා විවෘත ආලින්දයේ ඇඳි පුටුවක හිඳගෙන සිටී. පුටු ඇඳි දෙක අතර රැඳවූ ලෑලි කැබල්ලකි. ඒ මත ඔහු ගේ දිනපොතත් ලියන කඩදාසි කිහිපයකුත් තිබේ.

 විමලසිරි ගේ දකුණු පාදය බැන්ඩේජයකින් වෙළී ඇත. එය ඔහු ඉදිරිපස වූ තවත් පුටුවක් වෙත දිගු වී තිබේ. ලේඛකයාගේ බිරිය, මාලනී කෝප්පයක් ද අතැති ව ගෙතුළින් මතුවෙයි.)

මාලනී - “තව ඩිංගෙන් අමතක වෙනවා... සිරී මේ කසාය ටික බීලා ඉන්ඩ.”

විමලසිරි - “දෙයියන්ගෙම නාමෙට, මට නම් එපා ඔය තිත්තකාඩි” (ඔහු හිස ගස්සමින් ඉවත බලයි)

මාලනී - “අනේ හැබෑටම මෙහෙමත් කෝළං... ලෙඩකට අමාරුවකට බෙහෙතක් බොන්ඩ තමා අමාරු... අර ගිනිවතුර බොන්ඩ නම් කිසිම අමාරුවක් නැහැ නේද...? කෝ ඉතිං මේක බොන්ඩකෝ... මට පරක්කු වෙනවා...”

(විමලසිරි මූණ ඇඹුල් කරගෙන කසාය කෝප්පය බොයි. මාලනී ආපසු හැරෙන්නේ මුහුණට මඳහසක් නඟා ගනිමිනි. විමලසිරි කණ්ණාඩි කුට්ටම සකසමින් යළිත් දිනපොත සටහන් තැබීම අරඹයි.)

පෙබරවාරරි 09 සෙනසුරාදා - 2008

සිහිය එනකොට රාලහාමි කෙනෙකුයි තවත් කීප දෙනෙකුයි මා වටේ උන්නා. රාලහාමිට ඕනැවුණා මගෙන් කට උත්තරයක් ගන්න. බස් එකෙන් බැහැලා පාර පනිනකොට මාව මෝටර් බයිසිකලයකට හැප්පිලා.

බයිසිකලේ පදවපු ඉලංදාරියත් එතන හිටියා. එයා බොහොම අහිංසක විදිහට මා දිහා බලලා ඉස්පිරිතාලෙට යන්න කතා කළා. එතකොටයි මට මතක්වුණේ මම සමගිලත් එක්ක ඩි‍්‍රන්ක් එකක් ගත්ත විත්තිය.

විජිතගෙ පොත දොරට වඩම්මපු උත්සවය ඉවරවෙලා අපි කෙළින්ම ගියෙ ‘බ්ලුස්කයි’ එකට. ගෙදරින් එළියට බහිනකොට මාලනී මගෙ හිත පාරපු නිසා කේන්තියටත් එක්ක මම ටිකක් වැඩිපුර ගත්තා. අද උඹට ටිකක් වැඩියි වගේ කියලා සමරෙ කිව්වත් මතකයි. නාගහ හන්දියෙන් බැහැලා පාර පනිනකොටම තමයි මේ අකරතැබ්බය වුණේ.

වරද සම්පූර්ණයෙන්ම මගේ අතේය කියලා බලන් හිටපු කීප දෙනෙක්ම කිව්වා. මට එකපාරටම මතක්වුණේ ගෙදර. මම අර ඉලංදාරියාට කිව්වා වෙන මොකවත් එපා කරුණාකරල මාව ගෙදරට ගිහින් දාන්නය කියලා.

(මෝටර් බයිසිකලයක් මිදුලට සේන්දු වෙයි. පි‍්‍රයන්ත හා සිරිමල් සිනාසෙමින් ආලින්දයට ගොඩ වෙති.)

පි‍්‍රයන්ත - “කොහොමද අංකල් දැන් අමාරුව අඩුද? ඔන්න දෙවෙනි වට්ටෝරුවෙ බෙහෙත් ටික ඔක්කොම අපි හොයාගෙන ආවා.” (පි‍්‍රයන්ත සුපුරුදු අහිංසක සිනහව පා බෙහෙත් මල්ල හා හෙල්මටය පුටුවක් උඩ තබයි.)

විමලසිරි - “අනේ ඔය ළමයි මොකට කරදර වෙනවද... හරි නම් වැරැද්ද කරපු මමයි ඔයගොල්ලන්ට උදව් කරන්ඩ ඕනෑ. බයිසිකල් එක රෙපයාර් කරන්ඩත් සෑහෙන ගාණක් යන්ඩැති නේද?”

(විමලසිරි ගේ මුහුණට නැඟෙනුයේ කෘතවේදී බැල්මකි.)

සිරිමල් - “මෙයා ඉන්ෂුවරන්ස් කොම්පැනියක ලොක්කෙක්නෙ අංකල්... ඔක්කොම රෙපයාර් නොමිලේ... ඔන්න අනික් දවසෙ වෙදගම යන්ඩ වෑන් එකත් මෙයා දැන්ම සෙට්කරලා ඉවරයි අංකල්...”

පි‍්‍රයන්ත - “අංකල් වගේ රයිට කෙනෙක් අඳුරගන්ඩ ලැබුණ එක අපිට මේ ඔක්කොටම වඩා වටිනවා නේද සිරිමල්...? වෙදගම ගිහින් එනකොට අපි කැලණි ගඟේ බාත් එකකුත් දාන්ඩයි ප්ලෑන්කරන් ඉන්නේ... ඇන්ටිලටත් කියන්ඩ හොඳද...”

(පි‍්‍රයන්ත සිරිමලුත් සමඟ ආපසු යන්නට සූදානම් වෙයි.)

විමලසිරි - “අන්න අම්මලා දූලා පුතාලා ඔක්කොම හෝ ගාලා බෙහෙත් කොටනවා... පුතාලත් යන්ඩ ඇතුළට... තේකක් කාරිය බීලා හෙමිහිට යන්ඩ බැරියෑ...”

(විමලසිරි තරුණයන් වෙත කාරුණිත බැල්මක් හෙළයි. තරුණයෝ බෙහෙත් මල්ල ද රැගෙන ගෙතුළට යති. ඔවුන් නොපෙනී යනතුරු ම විමලසිරි එදෙස බලා සිටී.)

(විමලසිරි ලේඛකයා ගේ නිවසේ විවෘත ආලින්දය. විමලසිරි බැන්ඩේජ් පාදය ද සමඟ සුපුරුදු අසුනේ හිඳගෙන සිටී. ඔහු අසල ම තවත් අසුනකට වී මාලනී පොතක් කියවයි.)

මාලනී - “හෙන්රි ජයසේන මහත්තය හරිම අපූරුවට මේක ලියල තියෙනව නේද... ඔයා ලියන්ඩකො පත්තරේකට මේ පොත ගැන. ඇත්තටම බලන්ඩකො ලෙඩක් දුකක් වුණහම මිනිහෙක් අසරණ වෙන හැටි... මොනව වුණත් අන්තිමට ඉතුරුවෙන්නෙ තමන්ගෙ පවුලෙ සාමාජිකයො ටික විතරයි... පොතට දාල තියෙන නමත් හොඳට ගැලපෙනවා නේද... කව්ද සිරී මේක ඔයාට ගෙනත් දුන්නේ...”

(මාලනී හෙන්රි ජයසේනයන් ගේ ‘බාල්හ ගිලානෝ’ පොත ඒ මේ අත පෙරළයි.)

විමලසිරි - “ඕක අර පියරත්නනෙ මාව බලන්ඩ එනකොට අරන් ආවේ. මිනිහ ගාව නියම කලෙක්ෂන් එකක් තියෙනවා... ඇත්තටම ඔයා කියන්නා වගේ මටත් හිතුණා... ඔය ගැන පත්තරේකට ලියන්න. ඊටත් වඩා හොඳයි ජයසේන මහත්තයටම ලියනවනං.

එයා හුඟක් සතුටු වෙයි එහෙම කළොත්. ඇත්තටම ඕක හැඟීමුයි - බුද්ධියයි දෙකම බොහොම අපූරුවට මෙහෙයවලා ලියපු පොතක්. ප‍්‍රශ්නවලට මූණ දෙන්ඩ, පුදුමාකාර ආත්ම ශක්තියක් දෙන පොතක්...”

(විමලසිරි ද කියවමින් සිටින පොත පසෙක තබා මාලනී දෙස බලයි.)

මාලනී - “කොහොම හරි ඔයාගෙ කකුලට පිංසිද්ද වෙන්ඩ දැන් අපේ ගෙදරත් අලුත් වෙලා. සුදු මැණිකෙයි, චූටි මහත්තයයි බලන්ඩ එපායැ දැන් ගෙදර වැඩට උදව් කරන ලස්සන. අපිත් එක්ක නෑදෑ ගමනක්වත් යන්ඩ අකමැති දෙන්නා දැක්ක නේද එදා වෙදගම ගමනට ආපු හැටි...”

(මාලනී ගේ මුහුණ පුරා සිනා රේඛාවක් පැතිර යයි. මඳ වෙලාවක් ඒ දෙස බලා සිටින විමලසිරි හදිසියේ යමක් සිහිපත් වූ කලෙක මෙන් දිනපොත අතට ගනී. මාලනී නැවතත් ‘බාල්හ ගිලානෝ’ කියවීම අරඹයි.)

පෙබරවාරි 14 බ‍්‍රහස්පතින්දා - 2008

මාලනී කියන්නා වගේ දැන් ටික දවසක ඉඳලා අපේ ගෙදර පරිසරය අලුත්වෙලා. පුංචි සංදියේ හා පැටව් වගේ අපිට තුරුලුවෙලා හිටපු සුදු මැණිකෙයි, චූටි මහත්තයයි ලොකුමහත් වෙනකොට ටිකෙන් ටික අපෙන් දුරස්වුණා. ඒගොල්ලො වෙනම ලෝක හදා ගත්තා. මමත් කන්තෝරුවයි සාහිත්‍ය වැඩයි ඇරුණහම වෙනත් ජීවිතයක් නැති ගාණටයි ජීවත් වුණේ. දෙපැත්තෙන්ම තැලුණෙ මාලනී.

එයා දරුවන්ගෙයි මගෙයි ලෝකවලින් ඈත් වෙවී කුස්සියටම තල්ලු වුණා. වෙදගම ගිහින් එමින් ගමනෙ කැලණි ගං ඉවුරෙදි කාලෙකට පස්සෙ අපි දෙන්නට හුඟක් දේවල් කතා කරන්න අවස්ථාව ලැබුණා.

 කොල්ලො තුන්දෙනා ගඟට බැහැලා නානකන් සුදු මැණිකේ කොට්ටන් ඇහුලුවා. අපි දෙන්නා අවුරුදු විසිපහක විතර අතීතයට ගමන් කළේ දන්නෙම නැතුව. දරුවොත් එක්ක එකතුවෙලා අපි මෙහෙම ගමනක් ආවෙ අවුරුදු ගාණකට පස්සෙ.

කැලණි ගං ඉවුරෙන් සමුගන්නකොට හැමෝගෙම මුහුණු අමුතුම ප‍්‍රබෝධයකින් පිරිලා. වැඩිදුරක් යන්න කලින් ළමයි සිංදු කියන්න පටන් ගත්තා. අපි දෙන්නත් ඒවාට අත්වැල් අල්ලන්ඩ වුණේ නිරායාසයෙන්මයි.

රාති‍්‍රය එළැඹ ඇත. විමලසිරි රූපවාහිනිය නරඹයි. මාලනී දරුවන් හා එක් ව ඔහු ගේ පයට බෙහෙත් ගල්වයි. වාහනයක් ගේ දොරකඩට පැමිණේ. විමලසිරි ගේ සගයන් දෙදෙනකු වන සමරවීර හා අමරපාල නිවසට පිවිසෙති.)

සමරවීර - “ඒයි බලපල්ලකෝ මෙයාට තියෙන සැප. මෙහෙම සාත්තු සප්පායම් ලැබෙනව නම් ඉතිං හය මාසයක් වුණත් බැරියැ ඉන්ඩ.”

අමරපාල - “ඇයි... මතක නැද්ද මිනිහ දවසක් කිව්වා, ගෙදරින් සැලකිලි ගන්ඩ පොඩි ප්ලෑනක් ගහන්ඩ ඕනෑ කියලා...”

(රඟමඬලකට පිවිසෙන නළුවන් දෙනෙකු මෙන් ඔවුහු විමලසිරි අසලට පැමිණෙති.)

මාලනී - “එනකං තමයි බලාගෙන හිටියෙ මහ ලොකු යාළුවො ටික... අන්න තවත් බෙහෙත් වට්ටෝරුවක් තියෙනවා කොටන්ඩ... දෙන්නත්තෙක්ක කොටලදීලා යන එකයි ඇත්තෙ බොරුකයිවාරු නැතුව...”

(මාලනී බොරු තරහක් මවා පාමින් කතා කරයි.)

සමරවීර - “මොනවද මැඩම් ඕවත් වැඩද... අපේ මිත‍්‍රයා වෙනුවෙන් ජීවිතය වුණත් පුදන්ඩ ලෑස්තියි අපි...”

අමරපාල - “ඔව්වොව්.. යාළුවාට ඉක්මන් සුව පතලා අපි ගෙනාපු දිව්‍ය ඔසුව පානය කරලා අපි බෙහෙත් ටික කොටලා දෙන්නම් පටස් ගාලා...”

මාලනී - “මේ ඔයගොල්ලන්ගෙ දිව්‍ය ඔසු පානය කරලා තමා මෙච්චර හරියක් කරගත්තේ... එයාට දැන් වෙදමහත්තයා දීලා තියෙනවා හොඳ කසාය ඔසුවක්... ගෙනාපු ඔසුවක් තමන්ම පානය කරන එකයි තියෙන්නේ...”

සමරවීර - “හරි හරි නෝනා මහත්තයා... එයාට එයාගෙ කසාය දෙන්ඩ... අපි අපේ කසාය පානය කරන්නම්... අපිට වීදුරු දෙකක් විතරක් දුන්නහම ඇති.. කරදර කරන්නේ නැහැ...”

(සියල්ලන්ගේම මුහුණු මත සිනාරැළි නැඟෙයි.)

විමලසිරි ගේ නිවසේ උදෑසනක්. විවෘත ආලින්දයේ සුපුරුදු ඉරියව්වෙන් ඔහු වාඩි වී සිටී. පොත්පත්, කඩදාසි, පත්තර ආදිය ඔහු වටා ගොඩගැසී ඇත. ඔහු ගේ දිනපොතේ තවත් සටහනක් ලියැවෙයි.)

පෙබරවාරි 16 සෙනසුරාදා - 2008

බාහිර කටයුතුවලින් මිදිලා ටික දවසක් එකතැනකට වෙලා ඉන්නකොට ජීවිතයේ වගේම අවට ලෝකයේත් මෙතෙක් නොදුටු අලුත් පැති ගොඩක් පෙනෙන්න පටන් ගන්නවා. අපේ ජීවිතවල හුඟක් දේවල් සිද්ධ වෙන්නේ අනපේක්‍ෂිතවයි. ඒ නිසා ඕනෑම දෙයක් ඕනෑම මොහොතක බාරගන්ඩ වගේම අතඅරින්ඩත් අපි සූදානමින් ඉන්ඩ ඕනෑ..

(විමලසිරි ගේ ලියැවිල්ලට බාධා කරමින් හෑන්ඩ්ෆෝනය හඬගායි. ඇමතුම පි‍්‍රයන්ත ගෙනි.)

පි‍්‍රයන්ත - “අංකල් මම පි‍්‍රයන්ත. ඊයෙ මම ගමේ ආවා. අංකල් අපේ අප්පච්චිට ටිකක් කතා කරන්න ඕනැලු...”

පි‍්‍රයන්තගේ පියා - “හෙලෝ මිස්ට විමලසිරි... කොහොමද දැන් ගුණයිද... අපේ පුතාගෙන් බේරෙන්ඩ බැහැ ඔයගොල්ලන්ට කතා කරන්ඩ කියලා... ඒක නෙමේ අපි හෙට කොළඹ එනවා වැඩකට... ඒ ගමන්ම ඔය පැත්තෙත් එන්ඩ කියලා... කමක් නැහැ නේද... අපේ වයිෆ්ට ඕනැලු මිසිස් විමලසිරිටත් කතා කරන්ඩ...”

(විමලසිරි, ආලින්දය අමදිමින් සිටින මාලනීට කතා කොට ටැලිපෝනය දෙයි.)

පි‍්‍රයන්තගේ මව - “හෙලෝ මිසිස් විමලසිරි... අපේ පුතා අතින් මහත්තයට කරදරයක් වුණාලු නේද... එයා ආපු වෙලාවෙ ඉඳලා කතා කරන්නෙ ඔයගොල්ලො ගැන... අපි හෙට ඔය පැත්තෙ එන්ඩයි කියල කල්පනාව... කරදරයක් නැහැ නේද... ලස්සන දුවෙකුත් ඉන්නව කියල ආරංචියි...”

මාලනී - “කව්ද අප්පේ ඒ කතාව කිව්වේ... පි‍්‍රයන්ත වෙන්ඩැති නේද...? ඇවිත් ඔයාලම බලාගන්ඩකෝ... හා... හා... හොඳයි... බුදු සරණයි...”

(මාලනී තනිවම සිනාසෙමින් හෑන්ඩ්ෆෝනය විමලසිරි අතට දෙයි.)

මාලනී - “පේනව නේද මේ කෙල්ල අපි දෙන්නගෙම ඇස් වහලා කරල තියෙන හපන්කම.”

විමලසිරි - “ඇයි මාලනී සුදු මැණිකෙ මොකුත් වරදක් කරලද...?”

මාලනී - “ඔව්වොව්... ඔයාගේ අර ජනපි‍්‍රය ගායකයා නිතරම කියන සුන්දර වරද... අන්න ඒක කරලා... කිව්වත් වගේ මේ සැරේ නම් ඔයා අඩව්ව අල්ලලා තියෙන්නෙ පුදුම නැකතකට...”

(දෑස් අඩවන් කරගන්නා මාලනී මුවගට නැඟුණු සිනාවක් ද ඇති ව විමලසිරි ගේ උරහිස සොලවයි. පහළට නැවී තිබෙන විමලසිරි ගේ දෑස දිනපොතේ මොහොතකට පෙර ලියැවුණු අකුරු පේලි දිගේ හෙමිහිට දිව යයි.)

ඒ නිසා ඕනෑම දෙයක් ඕනෑම මොහොතක බාරගන්ඩ වගේම අත අරින්ඩත් අපි සූදානමින් ඉන්ඩ ඕනෑ...



Nissanka Rajapaksa

unread,
May 10, 2024, 8:12:50 PMMay 10
to INDRAKA group
39
පැදුර
- ශාන්ති දිසානායක

හිරු කිරණ රිදී අසිපත් බඳු ව කැලුම් දුන්නේ ය. හරිත වර්ණයෙන් සැලෙන තුරුපතර, හිරු කිරණ පතිත ව මවා පෑ අසිරියෙන් කුල්මත්ව ගිය විහඟුන් නැඟූ නාදයෙන් මුළු මහත් පරිසරය ම කැලැඹී ගියේ ය.

නොකැලැඹී සිටියා නම් සිටියේ අසූ වයස් සපිරි මැහැල්ල පමණි. ඇගේ දිරා ගිය සිරුර දිග ඇදී තිබූ කබල් පැදුරේ අව පැහැය ම ඇගේ දෑත දෙපයේ ද වූයේ පුදුම සහගත ලෙසිනි. පැදුර අජීවී යමක් නො ව ඇය මෙන් ම තවමත් හුස්ම ඉහළ පහළ හෙළන සත්ත්වයකු බඳු ය.

මැහැල්ලත්, පැදුරත් දෙකක් නො ව එකක් ම විය. තවමත් සකී‍්‍රය ඇගේ ආමාශය පිරී ගිය කල්හි වෑයමෙන් උඩුකය කෙළින් කොට ඇය හුරතල් වන්නේ ද පැදුර සමඟ ය. දික් ව, වක් ව ගිය අතැඟිලි තුඩින් පැදුරේ වියමන පිරික්සා බලන්නිය ගේ වියැළුණු දෙතොල මඳක් සලිත වෙයි.

 ඒ සිනාවක් ද නොඑසේ නම් හැඬුමක් දැයි හරියාකාර ව දන්නේ ඇය පමණි. ඇතැම් විට ඇගේ යට ගිලුණ දෑසින් ගිලිහී වැටෙන කඳුළු බිඳු පවා අපුලක් නැතිව උරා ගන්නා පැදුර ඇගේ සයනය ද සුමිතුරා ද වෙයි.

තුන් වේලට බත්පත ද වතුර කෝප්පය ද රැගෙන මැහැල්ල හුදෙකලාව සිටින ගෙපැල වෙත එන මුණුබුරකු හෝ මිණිබිරියක වහා පලා යන්නේ මිත්තනිය විෂබීජ ආකාරයකැ යි පිළිකුලෙන් මෙන් ම අප‍්‍රමාණ බියෙන් පිරුණ හදිනි.

”අනේ.. අනේ පුතේ ඩිංගිත්තක් මට නැගිටගන්ඩ අත දීපං...” ඒ තෙවාරයේ දී ම ඇය ආයාචනා කරයි.

”ඉහ උස්සා ගන්ඩ වාරුවක් නැතුව බෑ බුදු පුතේ..”

නිහඬ ව ම ඇගේ පැදුර අසල බත් පත ද වතුර කෝප්පය ද තබන ගැටවරයා හෝ යුවතිය ආපසු හැරෙන්නේ අකාරුණික ලෙසිනි. හද පාරවන ආයාචනය නොඇසූ අයුරිනි.

”ඉතිං දුවනවා. අනේ එක ඇබින්දක් මා ගාව ඉන්ඩ බැයිද...? එක වචනයක් එක සිනාවක් කොයි ඉතිං මට..? අප්පේ මට වෙච්ච දෙයක්.. අනේ මං මොන පාපයක් කෙරුවටද මට මේ දුක?”

මැහැල්ල ගේ විලාපය ඔහු ගේ හෝ ඇගේ කඩිසරකම හීන නො කරයි.

බාල කල කතන්දර කියා දුන්, කොණ්ඩා කැවුම් තනා දුන් මිත්තනියත් දැන් මේ පැදුරක් මත වැතිර කඳුළු පෙරන්නියත් එක් අයකු නො ව දෙදෙනකු බව ඔවුන් සිතනවා වාගේ ය.

”කොයි මගේ කළු පුතා..? හිච්චි අම්මා? එන්ඩ කියාපල්ල උන්ට? මං උන්ගෙ අම්ම නෙමේ ද? මං නෙමේද උන් බඩේ තියාගෙන ඉඳල කිරි පොවල උස් මහත් කෙරුවෙ..? ඒ කාලෙ නං අපෙ අම්මෙ කිය කියා මගෙ පස්සෙමයි කොයි අද...? ඇහැට දකින්ඩ නෑ... එකෙක් ආසාවට දැකගන්ඩ නෑ”

කෝපයෙන් ද ශෝකයෙන් ද බෙරිහන් දෙන මැහැල්ල පැදුර බරු ගසයි. ඇගේ දික් ව වැඩුණු නිය පහරින් පැදුර ඉරෙයි.

”හැමදාම වෙල්වල උදේට යනවා.. හැන්දෑවට එනවා... මේ නාකිච්චි බලන්ඩ වෙලාවක් නෑ උන්ට. .. උන් පොළවම කොටනවා.. පොළවෙම හැපෙනවා... මට කන්ඩ කට දෙන්ඩ නෙ ඔය අනේ මං තරහ නෑ බුදු පුතේ.. මං තරහ නෑ.”

කෝපයෙන් නොව ශෝකයෙන් වැලැපෙන මැහැල්ල දකින පැදුර පවා සුසුම් හෙළනවා වැනි ය.

ඒ තරමට ම පරාජිත දුක්බර පෙනුමක් පැදුරෙන් දිස්වෙයි. බොහෝ වේලාවක් තිස්සේ හඬා වැටීමෙන් ද කෑ ගෑමෙන් ද හෙම්බත් ව ගිය මැහැල්ලට කුසගිනි දැනෙයි. ඇය සිය සුදෝ සුදු හිස කිලිටි කොට්ටය මතින් ඔසවයි. වාර ගණනාවකට පසු ඇගේ උත්සාහය සාර්ථක වෙයි.

 උඩුකය කෙළින් කොට ස්වල්ප වේලාවක් ගතවන තුරු ම හතිලන මැහැල්ල දෙස පැදුර බලා සිටින්නේ අනුකම්පාවෙනි. මේ ජරාජීර්ණ වූ ද, අන්ත අසරණ වූ ද ගැහැනියට උදව් කරන්නට නුපුළුවන් වීම ගැන පැදුර ළත වෙන්නාක් මෙනි.

හැට වසරකට පෙර ඇය සිය මංගල රාති‍්‍රය ගෙවා දැමුවේ ද මෙබඳු ම පැදුරක් මත ය. එහෙත් එය විසිතුරු රටාවෙන් සහ වර්ණයෙන් ඔප් නැංවූ අලුත් ම පැදුරක් විය. ඒ සදානුස්මරණීය රාති‍්‍රයෙන් වසරකට පසු ඇය විළිරුදාවෙන් විලාප දුන්නේ ද, සිය කුළුඳුල් දරුවා බිහි කෙළේ ද පැදුරක් මත ම ය.

එදින ලෙයින් තෙත් ව ගිය පැදුර මත නැවුම් ප‍්‍රාණියකු ගේ ප‍්‍රථම හඬ ගෑම ඇගේ දෙසවනට මිහිරි ගීයක් ම විය.

දයා විරහිත කාලය ඇයට සරදම් කරන්නාක් මෙනි. දැන් ඇගේ ම කඳුලින්, මළ මුත‍්‍රාදියෙන් තෙත් ව යන පැදුර සෝදා අව්වේ ලන්නේ ඉඳහිට ය. එ ද දොස් පරොස් සමඟිනි. වසර ගණනාවක් හිරුත් මහ පොළොවත් සමඟ අරගල කරන ඇගේ දියණියන් ගේ කෘශ ව ගිය දෑතට පැදුර ද මහ මෙරක් තරමට බරට දැනේ.

පැදුර ද කොට්ටය ද වියැළෙන තුරු පුටුවක හිඳුවා තබන මැහැල්ල දඬුවමක් විඳින්නියක බඳු ය.

ඇගේ හිස වරින් වර කඩා වැටේ. වෙහෙසින් ද නිදි බරින් ද පියැවෙන දෑස දකින්නේ නපුරු සිහින ය. කලකට පෙර මිය ගිය සැමියා ගේ දයාන්විත දෑස ද, කිරි උරා බොන දරුවන් ද දකින්නට ඇය කොතරම් කැමැති ද?

“අම්ම මගේ”

“නෑ නෑ අම්ම මගේ” යි රණ්ඩු කළ දරු පැටව් තුරුළු කර ගත් ඒ සෙනෙහෙබර මාතාව දැක දැක හිනැහෙන්නට මේ මැහැල්ලට උවමනා ය. එහෙත් එක්කෝ නිද්‍රාව සිහිනවලට ඉඩ නොදෙයි. එහෙමත් නැත්නම් හැම හීනයක් ම අසුන්දර ය.

“ගන්ඩ දෙයක් නෑ පැදුරෙ... මේ අම්මට මොනා වෙලාද මංදා... පැදුර සේරම බරු ගහලා... දැං කව්ද පැදුරු වියන්නෙ? ගන්ඩ ගියත් ගිනි ගණං.” යි මැසිවිලි නඟමින් ඇගේ දුව පැදුර එළයි. මැහැල්ල ඒ මත හොවන්නට ඇයට සිය පුතු ගේ සහාය උවමනා ය. ඔහු මිත්තණිය ස්පර්ශ කරන්නේ බලවත් අකැමැත්තෙනි.

“හරියට අල්ලපංකො. මට තනියම බැරි හින්දනේ උඹව අඬගහ ගත්තේ.” ගැහැනිය කෝපයෙන් කෑ ගසයි.

“කුයිලයි තමා... ටික ටික දිරා මාරයාට ළං වෙනකොට කුයිල ගහනවා තමා ඕන කෙනෙක්...”

මුහුණ හකුලා ගන්නා පුත‍්‍රයා දෙස බලමින් ඇය එසේ කියයි. ඔහු යුහුසුලු ව දුවන්නේ සබන් කැබැල්ල සොයා ගෙන ය.

“මේ පැලේ තට්ට තනියම මට ඉන්ඩ බෑ බං. මනුස්ස පුළුටක් නෑ. කට හඬක් නෑ...”

“කොයි ඉතිං අපේ ගෙදර ඉඩක් අම්මට ඉන්ඩ. අනික් එක අරයත් චුරු චුරු ගාන්ඩ ගන්නවා...”

මව ගේ දුක්බර දෑස මඟ හරිමින් ඇය පවසන්නේ පහත් හඬිනි.

“උඹේ මිනිහ මාව උස්සගෙන ඉන්නවද බං?”

“ලබ්බෙ තොයිලෙ වාගෙ ඒ ගේ අස්සෙ ලෙඩ්ඩු දාගෙන පුළුවනෑ” යි කොඳුරමින් ඇය ගෙපැලෙන් පිට වූවා ය.

“ඉතිං දුවනවා.. එක ඩිංගිත්තක් ඉන්නවද මෙතන.”

“මං මෙතන හිටියොත් අපූරුවට තියෙයි. අරෙහෙ වෙලේ වැඩ. ඒ මදිවට ගෙදර වැඩ. මට නං දැං එපා වෙලා තියෙන්නෙ... වැඩම තමයි... ඉවරයක් නෑ." දියණියන් ගේ උච්ච ස්වරය මැහැල්ල ගෙ දෑසට නැඟි කඳුළු වියළා දමයි.

“ඇත්ත නේන්නං... උං පනං දෙකක් හරි හම්බු කර ගන්ඩත් එපැයි.” යි මුමුණා සුසුමක් ද හෙළන මැහැල්ල දෙස පැදුර බලා සිටින්නේ සංවේගයෙනි. ඇය කෝපයෙන් ද ශෝකයෙන් ද තොර හදින් පැදුර අත පත ගාන්නේ බිලිඳකු ගේ සියුමැලි සිරුර පිරිමදින මවක සේ ය.

රැළි නැඟි මුහුණේ හැම චලනයක් ම හොඳින් හඳුනන පැදුර මේ මොහොතේ ඇගේ හද පිරි ස්නේහය දුටුවේ ය.



Nissanka Rajapaksa

unread,
May 11, 2024, 7:40:15 PMMay 11
to INDRAKA group

40

ගැඹුරු ගංගාව

දකුණු අප්‍රිකාණු ලේඛිකා බෙසී හෙඩ්

අනුවාදය බොබී ජී. බොතේජු

බොහෝ කලකට පෙර සතුන් ගමන් කරන පාරවල් සහ අඩි පාරවල් පමණක් තිබූ භූමියක මිනිස්සු, ගැඹුරු ගංගාවක ජලය එක් රැස් ව තිබෙන්නාක් මෙන් එක් ව ජීවත් වූහ. මේ ගැඹුරු ගංගාවේ ආරවුල්වලින් හෝ ඉදිරි ගමනකින් තොර ව ජීවත් වූ මිනිසුන්ට පෞද්ගලිකත්වයක් නො වී ය.

ඔවුන් ගේ පාලකයා මුළු ජනතාව වෙනුවෙන් ම පෙනී සිටියේ ය. ඔවුන් ගේ පාලකයා ගේ නම මොනෙමාපි නම්, ඒ භූමියේ ජීවත්වන සියල්ලෝ ම මොනෙමාපීහු වූහ. තලාඔටේ ගෝත‍්‍රයට ඔවුන් ගේ මූලාරම්භය සහ ඔවුන් ගේ භාෂාව අමතක වීමට පටන් ගත්තේ ඔවුන් දකුණු ප‍්‍රදේශයට සංක‍්‍රමණය වීමත් සමඟ ය.

ඔව්හු දකුණු ප‍්‍රදේශයට සංක‍්‍රමණය වන විට වෙනත් ගෝති‍්‍රකයන් සමඟ මිශ‍්‍ර වූහ. තලාඔටේ නම ඔවුන් ගේ මතකයේ පමණක් රැඳී තිබිණ. ආරවුල් පැන නැඟීමට පෙර ඔවුන් සියල්ලෝ ම මොනෙමාපී වාසීහු වූහ. ඔවුන් ගේ රාජධානිය පිහිටියේ මධ්‍යම අපි‍්‍රකාවේ ය.

ඔවුනට මතක හැටියට මොනෙමාපි තම හිසකෙස් සුදු වී මිය යන තුරු ම සිය නායකයා සහ පාලකයා ලෙස කටයුතු කෙළේ ය. මේ ගැඹුරු ගංගාව දෙපස ඔවුනට භයානක අනතුරු ගෙන දෙන සතුරු ගෝති‍්‍රකයෝ වාසය කළහ.

 එබැවින් සියලු ම මිනිස්සු එක නගරයකට වී වාසය කළහ. මෙලෙස සෑම ගෝත‍්‍රයක් ම කටයුතු කෙළේ තම ආරක්ෂාව සලසා ගැනීම උදෙසා යි. ඔවුන් ගේ දෛනික ජීවිතයේ දී ඔවුනට පෞද්ගලිකත්වයක් නො වූ අතර, ගොවිතැන් කිරීම, දරුවන් ලැබීම සහ උත්සව පැවැත්වීම ඔව්හු තම වාස භූමියේ නීතියට අනුව සිදු කළහ.

මිනිසුන්ට වාසය කිරීමට වෙන වෙන ම ඉඩම් ලබා දී ඇති නමුත්, පාලකයා ගේ අණක් නොමැති ව ඒවා අස්වැද්දීමට බලයක් නො වී ය. වගා බිම්වලට යෑම සඳහා මිනිසුන් පිටතට පැමිණි විට වගා කිරීමේ කාලය එළැඹ ඇති බව පාලකයා මිනිසුන් රැස්කර නිවේදනය කෙළේ ය. අස්වනු නෙළීමේ කාලය පැමිණි විට ධාන්‍ය පැසී ඇති බව පාලකයා ප‍්‍රකාශයට පත් කෙළේ ය.

“අස්වැන්න කපාගෙන ගෙදර ගේන්න”

අස්වැන්න නිවෙස්වලට රැගෙන ආ පසු ස්තුති කිරීමේ උත්සවයක් සංවිධාන කැරේ. නගරවාසී සියලු ම කාන්තාවෝ තමන් ගේ අස්වැන්න කූඩවල පුරවා පාලකයා ගේ නිවසට රැගෙන එති. අස්වැන්නෙන් කොටසක් බාරගෙන ඉතිරිවා ආපසු ගෙන යන්නට කාන්තාවන්ට අවසර ලැබෙයි.

ඉන් දින කීපයකට පසු පාලකයා තමා ගේ පණිවිඩකරුවකු මඟින් අස්වැන්නෙන් ස්තුතිය සඳහා වෙන් කර ඇති කොටස කෙටීමට අවසර ලබා දෙයි. පාලකයා ගේ විශේෂ පණිවිඩකරුවා නගරයේ උස කඳු ගැටයකට හෝ ගොඩැල්ලකට නැඟ පාලකයා ගේ නිවේදනය ඉදිරිපත් කරයි.

“අසනු මැනව ධාන්‍ය කෙටීම දැන් ආරම්භ කරන්න”

එවිට මිනිස්සු ධාන්‍ය කෙටීමට පටන් ගනිති. අනතුරු ව තවත් දින කීපයකට පසු පණිවිඩකරු දෙවන නිවේදනය කරයි.

“ධාන්‍ය පැසෙන්නට තබන්න”

තවත් දින කීපයකට පසු පැමිණෙන පණිවිඩකරු තවත් නිවේදනයක් කරයි.

“දැන් ධාන්‍ය පිසීමට පටන් ගන්න”

එවිට නගරයේ මිනිස්සු ධාන්‍ය තම්බා බීර නිපදවයි. ඒ බීර පෙරා ගත් පසු පණිවිඩකරු පැමිණ අවසාන නිවේදනය කරයි.

“දැන් පෙරන ලද බීර රැගෙන එන්න”

අස්වැන්නට ස්තුති පිදීමේ උත්සවය පැවැත්වෙන විශේෂ දිනයේ දී සියලු ම කාන්තාවෝ එකා පසුපස එකා බැගින් පේළි සෑදී නායකයා සිටින ස්ථානය වෙත ගමන් කරති. ඒ ස්ථානයේ විශාල භාජන තබා ඇති අතර, පෝලිමේ පැමිණෙන කාන්තාවෝ තමන් අත ඇති බීර භාජන විශාල බඳුන්වලට හිස් කරති.

අනතුරු ව සියලු ම මිනිස්සු එක් රැස් ව අස්වැන්නට ස්තුති කිරීමේ උත්සවය පවත්වති. සෑම කෙනෙක් ම තම පාලකයා ගේ මඟ පෙන්වීමේ යටතේ මේ ආකාරයෙන් ජීවිතය ගෙන යති. ඔව්හු තමන් ගේ පෞද්ගලිකත්වය අමතක කර මේ ආකාරයෙන් ජීවත්වීමේ ක‍්‍රමය බාර ගනිති.

එහෙත් ආරවුලක් හෝ අර්බුදයක් ඇති වූ අවස්ථාවල මේ ගැඹුරු ගංගාවේ රැළි හට ගන්නා අතර මිනිස්සු සිය පෞද්ගලිකත්වය වෙනුවෙන් පෙනී සිටිති.

මොනෙමාපි තම ජීවිතය කාලය තුළ බිරියන් තිදෙනකු සමඟ වාසය කෙළේ ය. මේ විවාහවලින් ඔහුට පුතුන් හතර දෙනකු ලැබිණ. ඒ ජ්‍යෙෂ්ඨ බිරිය ගෙන් සෙබෙම්බෙලි, දෙවන කනිෂ්ඨ බිරිය ගෙන් නෙට්මා සහ මොසෙම්මි සහ තෙවන කනිෂ්ඨ බිරිය ගෙන් කෙගාගෝඩ් යනුවෙනි.

මොනෙමාපි මිය යන අවස්ථාව වන විට ඔහු ගේ පස්වන පුතා මාකෝබි තම මව ගෙන් කිරි උරා බොන වයසේ ළදරුවෙක් විය. මේ දරුවා ගේ මව වූයේ තෙවන කනිෂ්ඨ බිරිය වූ රන්ක්වානා යි. ආරවුල පැන නැඟුණේ පස්වන පුතා වූ මාකෝබ් සම්බන්ධයෙනි. එහි රහසක් තිබිණ.

 මොනෙමාපි තම තෙවන කනිෂ්ඨ බිරිය සමඟ විවාහ වූයේ වයස්ගත ව සිටිය දී ය. රන්ක්වානා තරුණ රූමතියක වූ අතර, ජ්‍යෙෂ්ඨ පුත‍්‍රයා වූ සෙබෙම්බෙලි ඇය සමඟ රහස් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේ ය. මොනෙමාපි මියගිය පසු ගෝත‍්‍රයේ පාලකයා වන්නට නියමිත ව සිටි සෙබෙම්බෙලි මහත් අනුවණකමක් සිදු කෙළේ ය. හේ රන්ක්වානා තම බිරිය ලෙසත්, ඇයට ලැබුණු පුත‍්‍රයා වන මාකොබ් තම පියා ගේ නො ව තමා ගේ දරුවකු බවත් හෙළිදරව් කෙළේ ය.

මේ ප‍්‍රවෘත්තිය මිනිස්සු මවිතයෙන් බාර ගත්හ. ගැඹුරු ගඟේ රැළි මතුවන්නට පටන් ගත්තේ මෙතැන් සිට ය. තරුණ මහලු සියල්ලෝ ම පාලකයා සිටි ස්ථානයට පැමිණිය හ. මහලු පාලකයා ගේ මරණය ස්වාභාවික මරණයක් විය නොහැකි බවට ඔව්හු සැක පහළ කළ හ.

සියලු ම රහස් දන්නා පාලක මණ්ඩලයෙන් ඔව්හු ප‍්‍රශ්න කළ හ.

මොනෙමාපි මිය ගියේ ඔහුට දෙපයින් නැඟී සිටිය හැකි කාලයක දී බවත්, එබැවින් ඔහු ගේ මරණය ස්වාභාවික මරණයක් බවටත් ඔව්හු සහතික කළ හ.

ඒ අයුරින් ඒ කාරණය නිරාකරණය විය. ඊළඟ අභියෝගය පැන නැගුණේ නෙට්මා සහ මොසෙම්මි කනිෂ්ඨ සොහොයුරන් ගෙනි. මාකෝබ් තමා ගේ පුත‍්‍රයා යැයි සෙබෙම්බෙලි කියනවා නම් එහි අර්ථය ඔහු කුඩා වුවත් ඔවුන් දෙදෙනට ම වඩා ජ්‍යෙෂ්ඨ වන බවයි. එහෙත් ඊට ඉඩ දිය නොහැකි ය.

සෙබෙම්බෙලිට සිය කනිෂ්ඨ සොහොයුරන් ගෙන් එල්ල වූ බලපෑම දැඩි වූ අතර පාලක මණ්ඩලයේ අදහස වූයේ රන්ක්වානාට ඉදිරිපත් කරන අයිතිවාසිකම සෙබෙම්බෙලි අතඇරීම සුදුසු බව යි. පාලකයාට තම බිරිය වශයෙන් මීට වඩා සුදුසු කාන්තාවක් ලබා ගත හැකි ය. අනතුරු ව සෙබෙම්බෙලි දෙවන වරදත් කෙළේ ය. ඔහු අවංක ව ම මෙලෙස කීවේ ය.

“මොනතරම් කාන්තාවන් සිටියත් මාත් රන්ක්වානත් අතර ඇති ආදරය ශ්‍රේෂ්ඨයි”

මේ ප‍්‍රකාශය පාලක මණ්ඩලයේ අසතුටට සහ අප‍්‍රසාදයට හේතුවිය.

“අපි ඔබ නම්...” ඔව්හු පැවසූහ. “අපි වෙන කොහෙන් හරි බිරිඳක් සොයා ගන්නවා. නායකයන් හැඟීම්වලට වහල් නොවිය යුතුයි. මේ කාරණය මිනිසුන් අතර ආරවුල් ඇතිවෙන්නට හේතුවන්න පුළුවන්.”

මේ උපදෙස්වලට පසු ව සෙබෙම්බෙලි නිහඬ වූ අතර ඔහුට කල්පනා කර තීරණයක් ගැනීමට අවස්ථාව ලැබිණ. ඔහු පාලක මණ්ඩලයේ උපදෙස්වලට අනුව තීරණයක් ගනු ඇතැයි අපේක්‍ෂා කැරිණි.

මේ අතර ජනතාව නිහඬ ව ම කඳවුරු දෙකකට බෙදුණ හ.

එක් කඳවුරක මතය වූයේ ඔහු ඇයට ආදරය කරනවා නම් ඇය බිරිය කර ගත්තාවේ. අපි හැමෝම රන්ක්වානාව දන්නවා. ඇය අපූරු ගැහැනියක්. නායකයාගේ බිරිය වන්න සුදුසු කාන්තාවක්.

අනෙක් කඳවුරෙ අය මෙලෙස පැවසූහ. “මේ මිනිහට පිස්සු. ගැහැනියකගේ බලපෑමට යටත්වෙන කෙනෙක් නායකයා වෙන්න සුදුසු නැහැ. මේක හරියට ළමයින්ගෙ අවවාදවලට කන්දීල කරන වැඩක් වගෙයි. මේක ඉතාම නරක දෙයක්”

මුල දී සෙබෙම්බෙලි ගේ නායකත්වයට ඍජු අභියෝගයක් නො වී ය. එහෙත් හේ රන්ක්වාන ට සහ ඇගේ දරුවාට දක්වන ආදරය නිසා ඇතිවූ ආරවුල කාලයට විසැඳිය නොහැකි ප‍්‍රශ්නයක් බවට දිග් ගැසිණ.

සැඟැවී සිටින නාගයන් එතැනින් හිස පිටතට දමා ෂූස් යනුවෙන් ශබ්දයක් පිට කරන්නාක් මෙන් විරෝධය මතු ව ආවේ ය. ඒ අතර සෙබෙම්බෙලි තම හෘදය සාක්‍ෂ්‍යය සහ රන්ක්වානාට දක්වන ආදරය අතර විවාදයක නිරත විය.

“මම මොනව කරන්නද කියල මම දන්නෙ නැහැ” මාස ගණනාවක් තිස්සේ රහසේ පවත්වාගෙන ගිය ආදර සම්බන්ධය සහ ඒ නිසා මතුවී ඇති තත්ත්වය පිළිබඳ ව හේ දෙගිඩියාවෙන් පසුවිය. ඔහු රහසේ ගෙන ගිය සම්බන්ධතාව මහජනතාව අතර මහා ඝෝෂාවක් ඇති කෙළේ ය.

කාන්තාව සහ දරුවා අමතක කර දැමීමට එක් වරක් ඔහු ගේ හදවත බල කළ අතර රන්ක්වානා දකින හැමිවිට ම ඔහු ගේ හදවත ඊට එරෙහි ව නැඟී සිටින්නට විය. එබැවින් ඔහුට තීරණයකට එළැඹිය නො හැකි විය.

ඔහුට ජීවිතයේ බොහෝ දේ ලැබී ඇත. රූමත් කාන්තාවක ගේ ඇසුර ඔහුට අවශ්‍ය ය. ආදරය සහ කරුණාව ඔහු අපේක්‍ෂා කෙළේ ය. පාලක මණ්ඩලයේ උපදෙස් ඔහු ඇය සමඟ පැවසූ විට ඕ හිස නමා යාන්තමින් කඳුළු සැලුවා ය.

“ඔවුන් කියන්නෙ එහෙම නම්...” ඕ කීවා ය. “මමත් දරුවත් කිසිදෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. මීට වඩා හොදයි දරුවයි මමයි මැරුන නම්”

“ඔයාට වෙනත් සැමියෙක් හොයාගන්න පුළුවනි” හේ යෝජනා කෙළේ ය.

“ඔයා නැති වුණොත් මට ඉඳල වැඩක් නැහැ. ඔයා මාව අතඅරිනව නම් මම මැරෙනවා”

ඇගේ වචන සහ ඔහු වෙනුවෙන් ඇති කැපවීම ඔහු ගේ සිත ඇද බැඳ තබා ගැනීමට ප‍්‍රමාණවත් විය. එය කෙතරම් වේදනාකාරී වී ද යත් ඔහු ගේ සිත දුර්වල විය. ඔහු ගේ මනසේ දිවා රාති‍්‍ර පුරා ම වෙන කිසිවකට ඉඩක් නො වී ය. එය අසනීපයක් බඳු ය. සෙබෙම්බෙලි දුටු ඕනෑ ම කෙනකු ඔහු මහා බරක් උසුලාගෙන යන කෙනකු ලෙස පෙනෙනු ඇත.

“මේ මිනිහ ගැන අපේ හදවත්වල විවිධ දේවල් තියෙනවා” පාලක මණ්ඩල සාමාජිකයෝ එකෙකා සමඟ කතා බස් කර ගත්හ. ඔහු පිරිමියෙක් නම් නායකයකු වීමට සුදුසු නම් ඒ අනුව කටයුතු කළ යුතු යි. එහෙත් දැන් සියල්ල ඔහු ගේ පාලනයෙන් ගිලිහි ඇත. ඔහු ගැන තවදුරටත් අනුකම්පා කළ අය මෙලෙස පැවසූහ.

“ගෑනියෙක් වෙනුවෙන් මෙච්චර කරදර වෙන්නෙ ඇයි? සෙබෙම්බෙලි පාලකයාට ඕන තරම් බිරියන් ගන්න පුළුවන්. ඒකෙ සීමාවක් නැහැ. ඒත් සෙබෙම්බෙලිට මේ ගෑනිවත් දරුවවත් ගන්න බැහැ”

ඔහු කළකිරුණු මනසින් යුතු ව මෙසේ කීවේ ය. “මම දන්නෙ නැහැ මම මොනව කරන්නද කියල”

එහෙත් කාරණා චංචල වෙමින් පැවැතිණ. සෑම කෙනෙක් ම සිදුවන දේ පිළිබඳ ව උද්යෝගයෙන් පසුවූහ. මිනිහකුට හිත හදාගන්න බැරි නම් ඔහු වෙනුවෙන් අන් අයට එය ඉටු කර දිය හැකි ය.

සියල්ල රහසේ සිදුවිය. එක්තරා නියමිත දිනක රන්ක්වානා ඇගේ දරුවා ද සමඟ ඇය ගේ පියා ගේ නිවස වෙත බලයෙන් රැගෙන යනු ලැබී ය. එතැන් පටන් මතබේද හට ගත්තේ ය. පාලක මණ්ඩල සාමාජිකයෝ ඇගේ පියාට දිවා රාති‍්‍ර බලපෑම් කළේ අර්බුදය නිමා කිරීමට උපකාර කරන ලෙස යි.

 ඔහු ඉදිරියේ ම ඇය රැගෙන එන විට ඔහු කතා කිරීමට පවා අපහසු තත්ත්වයේ පසුවිය. සැලසුම වූයේ වහා ම ඇයට වෙනත් ස්වාමිපුරුෂයකු සොයා දී කාරණය නිමා කිරීමට යි. සෙබෙම්බෙලි ඇය සමඟ නීත්‍යානුකූල ව විවාහ වී නොසිටි බැවින් ඊට බාධාවක් ද නැත.

“උඹ මාව මහ කරදරේක දැම්මා දරුවා” ඇගේ පියා දුක්මුසු මුහුණෙන් යුතු ව ඇය දෙස බලමින් කීවේ ය. “ගැහැනු තමන්ගෙ හිත ගැන දන්නෙ නැහැ. මේ කාරණය ඉෂ්ට වුණොත් උඹට දරුවන් ගොඩක් ලැබේවි. මේ විකාර මොනවද කියල එතකොට උඹට තේරේවි”

“අනිත් ගැහැනුන් තමන්ගෙ හිත ගැන දන්නෙ නැහැ...” ඇය යමක් කියන්නට ආරම්භ කළා ය. එහෙත් ඇගේ පියා අත ඔසවා නවතින්නට සන් කෙළේ ඇගේ අනාගත සැමියා .......... ඇයට කිසිවකු ගේ අනුකම්පාවක් හෝ සහයෝගයක් නොලැබුණ බැවින් ඕ නිහඬ ව ම ඇගේ නව නිවස වෙත ගියාය.

සෙබෙම්බෙලි උදෙය වරුවේ තමන්ගේ ඉඩම්වල වැඩ කර ආපසු එන විට තම සහෝදරයන් වන නෙට්මා සහ මොසෙම්මි එහි පැමිණ සිටිනු දුටුවේ ය.

“මාව බලන්න ආවෙ ඇයි?” හේ බියෙන් විමසුවේ ය. “අපි සහෝදරයෝ වාගේ නෙවෙයි හිටියේ පරම හතුරො වගෙයි”

“ගෑනියෙක් හින්ද උඹ නටපු නාටගම නිසා උඹව මුළු නගරයටම එපාවුණා” ඔව්හු උපහාසයෙන් පැවසූහ. “ඇය දැන් නැති නිසා උඹට කියන්න බැහැ මම දන්නෙ නැහැ මම මොනව කරන්නද කියල. අපේ තත්වය පැහැදිලි වෙන්න නම් උඹ සියලු මිනිස්සු ඉදිරියෙ ප‍්‍රකාශ කරන්න ඕනෙ මාකෝබ උඹේ දරුවෙක් කියල. උඹ කියන්න එපා මාකෝබ උඹගෙ සහෝදරයන්වන නෙට්මා සහ මොසෙම්මි ගෙ බාල සහෝදරයෙක් කියල. පරණ පාලකයා වන මොනෙමාජිගෙ පුතෙක් නෙවෙයි කියල”

සෙබෙම්බෙලි බොහෝ වේලාවක් ඔවුන් දෙස බලා සිටියේ ය. ඔහුට හැඟී ගියේ බද්ධ වෛරය වෙනුවට අන්තිමේ සාමය ඇතිවූ බව යි. ඔහු ගේ සහෝදරයෝ ඔහුට ගෝත‍්‍රය හැර යන ලෙස බල කළහ.

“මිනිස්සුන්ට කියන්න එක් රැස්වෙන්න කියල” හේ පැවසුවේ ය. “ඒත් මිනිස්සුන්ට කියන්න ඕනෙ, මොකක්ද කියල තීරණය කරන එක මගෙ වැඩක්”

පසුදින උදෑසන මුළු නරගවාසින්ම පුදුමයට පත් කරවන අන්දමේ දසුනක් ඔවුනට දැක ගත හැකි විය. ඒ ඔවුන් ගේ පාලකයා හෙමිහිට කාගේවත් රැකවරණයක් නැති ව ම තනි ව ම ගමන් කරන අයුරු යි. හේ රන්ක්වානා ගේ පියා ගේ ගෙවත්තට ගොස් විවේක ගන්නා අයුරු ද ඔව්හු දුටු ව හ.

අනතුරු ව ඔවුන් දුටුවේ සෙබෙම්බෙලි සහ රන්ක්වානා ගේ පියා රන්ක්වානා රහසේ තබාගෙන සිටින ඇගේ නව සැමියා ගේ නිවස වෙත යන අයුරු යි. අනතුරු ව සෙබෙම්බෙලි සහ රන්ක්වානා නගරය මැදින් ගමන් කරන අයුරු ඔව්හු දුටු ව හ.

සෙබෙම්බෙලි දරුවා ගේ අතකින් අල්ලාගෙන ගමන් කෙළේ ය. තමන් ගේ පාලකයා කතා කරමින් සිටින කෙනකු නො ව කි‍්‍රයාවෙන් වැඩ කරන කෙනකු බව නගරවාසීන්ට පෙනිණ. එහෙත් මිනිස්සු තවදුරටත් කඳවුරු දෙකට බෙදී සිටිය හ. මහජනතාව ගෙන් විශාල පිරිසක් තමන් ගේ පාලකයා මේ අයුරින් කටයුතු කරනු දැකීමට අකමැති වූහ.

පාලකයා ගේ හැසිරීම ඔවුන් ගේ තිගැස්මට හේතු විය. කරුණාවන්තකම සහ ආදරය ඔවුනට වැදගත් නො වී ය. සෙබෙම්බෙලි ගේ පක්‍ෂය ගත් අය තම මතයේ එල්බ සිටිය හ. ඔව්හු මෙලෙස පැවසූ හ.

“මේ සේරම කරදරවල පිටිපස්සෙ ඉන්නෙ නෙට්මා සහ මොසෙම්මි. ඒ දෙන්නා අපි සියලු දෙනාම විශාල කරදරයක පටලවල. අපට ඔවුන් විශ්වාස කරන්න බැහැ. ඒත් ඇයි නැත්තෙ? ඒ අයට තවම කිසිදෙයක් කරන්න අවස්ථාව ලැබිල නැහැ.

ඒ අය අතින් වරදක් සිදුවෙනකම් බලා ඉන්න වේවි. දැන් සිද්දවෙලා තියෙන්නෙ සෙබෙම්බෙලිගෙ හැසිරීමේ වාසිය ඔවුනට ලැබීම යි. ඒත් අපි ඔවුන්ව විශ්වාස කරන්නෙ නැහැ. අපි ඒ දෙන්නට කැමති නැහැ. දුර්වල මිනිහෙක් වුණත් අපි සෙබෙම්බෙලිට කැමතියි”

එදින උදෑසන සෙබෙම්බෙලී තමාට පක්‍ෂ කඳවුර මුළුමනින් ම ජයග‍්‍රහණය කර තිබූ අතර මොනොමාපී රාජධානිය ඇතුළු ඔහු සතු සියල්ල ඔහුට අහිමි විය.

නගරයේ ජනතාව රැස්වන ස්ථානයට මිනිසුන් රැස්වන විට වාද කිරීමට කිසිවක් ඉතිරි ව නො තිබිණි. පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් නැගිට සෙබෙම්බෙලී ගේ හැසිරීම හෙළා දුටුවේ ය. ඔහු ගේ සහෝදරයන් වන නෙට්මා සහ මොසෙම්මි එදින ජයග‍්‍රහණය කළහ. ඒ දෙදෙන ම එක් ව ජනතාව ගෙන් වෙන් ව යෑමට පෙර කීමට යමක් තිබේ දැයි සෙබෙම්බෙලී ගෙන් විමැසූහ.

“මාකෝබ මගේ දරුවෙක්” හේ පැවසුවේ ය.

"තලාඔටේ" ඔව්හු පැවසූහ. ඔවුන් ගේ භාෂාවෙන් ඒ වචනයේ තේරුම “හොඳයි ඔබට යන්න පුළුවන්” යන්න යි.

මොනෙමාපී රාජධානියේ ජනතාවට අන්තිමට තමන් හඳුනාගැනීමට ඉතිරි වූයේ තලාඔටේ යන වචනය පමණකි. එදින සෙබෙම්බෙලී සහ ඔහු ගේ පිරිස ඔවුන් ගේ ගවයන් පිට ඔවුනට අයත් දෙවල් පටවාගෙන දකුණු ප‍්‍රදේශයට ගමන් කළහ. අතරමඟ දී ඔවුනට බොහෝ විපත්වලට මුහුණදීමට සිදුවිය. දකුණට ගමන් කරන අතර දී ඔවුනට බපාලෙන්ග්, බාකා, බට්සාවාපොන්ග්, බමන්ගවාතෝ වැනි ගෝති‍්‍රකයෝ හමුවූහ.

අන්තිමේ ඔව්හු බමනගවාතෝ නම් භූමියෙහි නතරවූහ. බමනගවාතෝ ප‍්‍රධාන නගරයේ අද දක්වාත් බටාලාඕටේ නමින් ස්ථානයක් ඇති අතර එහි වාසය කරන මිනිසුන් හඳුන්වන්නේ තලාඔටේ නමිනි. මේ ගෝත‍්‍රයේ මහලු මිනිස්සු තමන් ගේ ගෝත‍්‍රයේ උපත ගැන අවුල් සහිත සහ ප‍්‍රතිවරුද්ධ කතාන්දර කියති.

 එහෙත් තමන් ගම්බිම් හැර ආවේ ගැහැනියක් නිසා බව ඔව්හු අදටත් පිළිගනිති. ඔවුන් හිස් සලමින් ප‍්‍රකාශ කරන්නේ ගැහැනුන් ලෝකයට බොහෝ කරදර ගෙන දෙන බවයි.

තමන්ගේ නායකයා දරුවා තලාඔටේ යනුවෙන් නම් කර ඇත්තේ මොනෙමාපීවලින් තමන් පලවා හැරීමේ සිද්ධිය සිහිපත් කිරීම පිණිස බව ය.

පසු සටහන

මේ කතාව බාටාලාඔටේ ගෝත‍්‍රයේ ඉතිහාසය ඇසුරින් සකස් කරන ලද නිර්මාණාත්මක ප‍්‍රබන්ධයකි. මෙහි එන ඓතිහාසික තොරතුරු ඒ ගෝත‍්‍රයේ මහලු මිනිසුන් ගෙන් ලබා ගතිමි. ඒවායින් සමහර තොරතුරු විශ්වාස කිරීම අපහසු බැවින් මේ කතාව ගොඩ නැඟීම සඳහා නිර්මාණාත්මක අදහස් ද ඇතුළත් කළෙමි.

https://archives.silumina.lk/punkalasa/20080210/_art.asp?fn=ar0802103






Nissanka Rajapaksa

unread,
May 12, 2024, 8:03:27 PMMay 12
to INDRAKA group
41
ප්‍රේම චක්‍රයි

ජයතිලක කම්මැල්ලවීර

මා පසුගිය සති කීපය ගත කළේ ඔත්තු බලමිනි. මේ ඔත්තු බැලීමේ රාජකාරිය මා වෙත පවරනු ලැබුවේ මගේ බිරිය අනෝමා විසිනි. ඇය ද මේ දිනවල වැඩි කාලයක් ගත කරන්නේ ඔත්තු බැලීම සඳහා ය. අප දෙදෙන මෙසේ ඔත්තු බලන්නේ අපේම දියණියට විරුද්ධ ව ය.

 අනෝමා, ගෙදර සිට, දුව ලියන්නේ මොනවා ද, ටෙලිෆෝනයෙන් කතා කරන්නේ කාට ද, එසේ කතා කරන්නේ මොනවා ද, ගෙදරට එන ඇගේ මිතුරියන් සමඟ කුමක් කතා කරන්නේ ද යනාදී වශයෙන් නිරන්තර විපරමින් හිඳින අතර ඉඳහිට ඇගේ පොත් පත් අවුස්සා බලමින් ද ඇගේ ඇඳුම්වල සාක්කු පිරිස්සමින් ද ඇය කන බොන, නාන, ඇවිදින, වැසිකිලි යන හැම අවස්ථාවක ම ඇගේ ඉරියව් පිරික්සමින් ද සිටින අතර, ඇය ගෙයින් පිට ගිය විට පරීක්‍ෂාවෙන් හිඳීම මට පවරා ඇත.

මෝටර් සයිකලයෙන් ගොස් අනුරාධා ටියුෂන් පන්තියට ඇරලීමෙන් පසු යළිත් වරක් ඇයට හොරා ගොස් පන්තියේ ඇය සිටින්නේ දැයි බැලීම, මිතුරියක ගේ ගෙදරක ගියහොත් හදිසියේ එහි ගොස් ඇය ඉන්නේ දැයි බැලීම වැනි රාජකාරි මම බාර ගෙන සිටිමි.

උසස් පෙළ විභාගයෙන් වරක් අසමත් ව සති අන්තවල ටියුෂන් පන්ති යමින් සිටින අනුරාධා කිසියම් තරුණයකු සමඟ හාද වී සිටින බවට ආරංචිය ලැබී ඇත්තේ අනෝමාට ය.

එවැන්නක් ඇසීමෙන් මගේ සිත ද රිදුණ ද ‘ඔය වයසෙදි ඔහොම පොඩි පොඩි සම්බන්ධකම් ඇති වෙනව. ඕව පවතින්නෙ නෑ. වැඩිය සීරියස් ගන්න නරකයි’ යනුවෙන් මා අනෝමාට කීවේ බෝවෙන රෝගයක් හැදුණු කලෙක මෙන් ඇය බිය වී සිටිනු දුටු බැවිනි. ‘එහෙම දෙයක් තියෙනව නං ඒක මුලදිම කඩා දාන්ඩ ඕන. ආරංචියෙ හැටියට අපට නොගැලපෙන කොල්ලෙක්’ යයි කී අනෝමා වහා ම ඔත්තු බැලීමේ වැඩ බෙදීම කළා ය.

“එළියට ගියාම ඔයා බලන්ඩ. ගෙදරදි මං බලන්නං”

මේ රාජකාරිය කොතරම් අප‍්‍රසන්න එකක් දැයි මෙවැනි තත්වයකට මුහුණ දෙන දෙමාපියෝ දනිති යි මම සිතමි. මමත් අනෝමාත් විවාහ වූයේ පාසල් වියේ ඇරඹුණු පෙ‍්‍ර්ම සම්බන්ධයකින් වීමත්, අපේ සම්බන්ධයට ඇගේ දෙමාපියන් තහංචි පනවන විට පන්ති යන පොත් බෑගයත් සමඟ ම මා සමඟ ආ අනෝමා පසු දින මනාලියක් වීමත් මතක් වන විට මේ ඔත්තු බැලීමේ රාජකාරියේ අප‍්‍රසන්නතාව දෙගුණ තෙගුණ වෙයි.

එහෙත් මම මගේ දියණියන් ඇති කරගෙන ඇතැ යි කියන පෙ‍්‍ර්ම සම්බන්ධයට විරුද්ධ ව දිගට ම ඔත්තු බලමින් සිටිමි.

ඊයේ මා අපේ නිවසේ සිට සැතපුම් හයක දුරින් පිහිටි නගරය පසුකර යමින් සිටියේ අනුරාධා ගේ ටියුෂන් පන්තියට හොරෙන් එබිකම් කිරීමට ය. පීටර් අයියා ඔත්පල ව රෝහල් ගත කර සිටින්නේ ය යන ආරංචිය මට ලැබුණේ මඟ දී මුණගැසුණු පරණ මිතුරකු වූ ජයවීරගෙනි.

ඔහු යොවුන් වියේ දී ලැබූ උදව්වලට කෘතගුණ සැලකීමට පීටර් අයියා බලන්නට රෝහලට යමින් සිටියේ ය. මා යමින් සිටින්නේ කුමන රාජකාරියකට දැයි කියන්නට ලජ්ජා වූ මම “මටත් එහෙම එකක් දැනගන්ඩ ලැබිල තමයි ආවේ” යයි කියමින් ඔහු සමඟ රෝහලට ගියෙමි.

පීටර් අයියා රෝහල් ගත ව සිටිතැ යි දැනගත් විට ඔහු නොබලා ඉන්නේ කෙසේ ද? මගේත් අනෝමාගේත් යොවුන් පෙ‍්‍ර්මය මල්පල ගත්තේ පීටර් අයියා ගේ උදව්වෙනි. ජයවීර ද තරුණ වියේ දී මා මෙන් ම පීටර් අයියා ගේ සෙවණ යට පෙම් කළ අයෙකි. අප මෙන් පීටර් අයියා ගේ උදව් ලැබූවන් සංඛ්‍යාව ගිනිය හැක්කේ සිය ගණනිනි.

අප පාසල් වියේ සිටිය දී ද පීටර් අයියා වැඩිහිටියෙකි. විවාහකයෙකි. පියෙකි. එකල බස් නැවතුම්පොළේ ‘වේටින් හෝල්’ කැන්ටිම කළේ ඔහු ය. අපේ පාසල පිහිටි නගරයේ බස් නැවතුම්පොළ බස් දහයකට වඩා ඉඩ නැති කුඩා එකක් වුවත් එහි කදිම, සුන්දර වේටින් හෝල් එකක් තිබිණ.

 බිත්තරයක හැඩයට ඉදිකර තිබූ එය කොටස් තුනකින් යුක්ත ය. දෙපස කාමර දෙක ගැහැනු පිරිමි වශයෙන් වෙන් කෙරුණු අතර, මැද කොටස එහා මෙහා යන්නන්ට පොදු ය. එහි පසු කොටස පීටර් අයියා ගේ කැන්ටිම විය.

 එකල වේටින් හෝල් එකේ ලොක්කා පීටර් අයියා ය. පෙම්වතුන් වූ අපේ දෙයියා ඔහු ය. අපට අතිශයින් ම විශ්වාසවන්ත වූ පණිවුඩකරුවා ඔහු ය. අපි ඔහුට නොසෑහෙන්නට ගරු කෙළෙමු. ඔහු ගේ උපදෙස් පිළිපැද්දෙමු. ඔහුට අවනත වීමු.

ගනුදෙනුකරුවන් ඇතත් නැතත් පීටර් අයියා නිතර සිටින්නේ කැන්ටිමේ දොරකඩ ය. එසේ සිටින ඔහු ගේ දෑස බස් පොළ සිසාරා යයි. නියමිත බස් රථය එනතුරු තේ එකක් බොන්නට කැන්ටිමට ගොඩවදින මගියකු මේසයකට වාඩිවී බනිස් ඉල්ලූ විට පීටර් අයියා ඔහු ඉදිරිපිට වඩේ පිඟානක් තබන්නට බැරි නැත.

තේ එකට සීනි නොදමා හෝ දෙවරක් සීනි දමා දෙන්නට බැරි නැත. මගියකු ඉල්ලන දෙයක් වීදුරු අල්මාරියක පෙනෙන්නට තිබිය දී ඒවා නැතැ යි කියන්නට බැරි නැත. එහෙත් කිසි ම විටක අපේ පණිවිඩයක් අදාළ කෙනාට කීම නම් ඔහුට මඟ හැරෙන්නේ නැත. කිසි ම විටෙක කිසි ම පණිවිඩයක් අදාළ තැනැත්තාට හෝ තැනැත්තියට මිස වෙනකෙකුට යෑමේ වැරදීමක් පීටර් අයියා ගෙන් සිදුවන්නේ නැත.

අහවලා වේටින් හෝල් එකට ආවේ කීයට ද? එයින් පිටවී ගියේ කීයට ද? නැංඟේ කුමන බසයකට ද? ඇඳ සිටි ඇඳුමේ පාට කුමක් ද? මේ ඕනෑ ම තොරතුරක් පීටර් අයියා ගෙන් නොවැරදී ම දැනගන්නට පුළුවන. එපමණක් නො වේ, අද අහවල් තැනැත්තා හෝ තැනැත්තිය සිටියේ සතුටින් ද, දුකෙන් ද, කනස්සල්ලෙන් ද? ආදී දේ ද ඔහු ගෙන් දැනගත හැකි ය.

අපේ ආදර කතාවේ වැඩි කොටසක් ලියැවුණේ පීටර් අයියා ගේ පයිණ්ඩ සේවාවේ පිහිටෙනි.

අනෝමා ගේ දෙමාපියන් වැට බඳින්නට පටන් ගත් පසු අපි වැඩිපුර ම කතා බහ කළේ ලියුම්වලිනි.

ඒ ලියුම් එහා මෙහා ගියේ පීටර් අයියා ගේ කැන්ටිමේ මේස ලාච්චුව හරහා ය. එක දවසක දී ඒ ලාච්චුව හරහා අඩු ම වශයෙන් ලියුම් හත අටක් වත් එහා මෙහා ගිය බව අපි දනිමු.

පෑනක්, පැන්සලක් හෝ ටොෆියක් ගන්නට පීටර් අයියා ගේ කැන්ටිමේ කවුන්ටරය වෙත යන කෙල්ල තමා මිල දී ගන්නා දේට මුදල් ගෙවන අතර ම හතරට පහට නැවූ ලියුම පීටර් අයියා අතට පත් කරන්නී ය. අපි කැන්ටිම ඇතුළට ම ගොස් වඩයක් කා ප්ලේන්ටියක් බී අපට නියමිත ලියුම ඉල්ලා ගන්නෙමු.

අපට නියමිත ලියුමක් පීටර් අයියා ගේ ලාච්චුවට ලැබී නැති දවසක එවැන්නක් අපේක්‍ෂාවෙන් අප වේටින් හෝල් එකට ගොඩවැදුණහොත් දුර දී ම අප දකින ඔහු යටිතොල පෙරලා පෙන්වන්නේ ‘අද නෑ’ කියන්නට ය. එවිට අපට ඔහු ගේ වඩ ද ප්ලේන්ටි ද එපා වෙයි. අපි විරහ ගී ගයමින් ආපසු හැරී එන්නෙමු.

“ලබන ඉරිදා පන්ති ආවම මාත් එක්ක යන්න ලෑස්ති වෙලාම එන්න” යන මගේ තීරණාත්මක පණිවිඩය ද අනෝමා වෙත ගියේ පීටර් අයියා ගේ මේස ලාච්චුව හරහා ය.

අපි දැන් පනස් වියට ආසන්නව හිඳිමු. පීටර් අයියා හැට පහ පන්නා ඇතැ යි මම අනුමාන කරමි. අවුරුදු පහ හයක සිට වේටින් හෝල් කැන්ටිම කරන්නේ පීටර් අයියා ගේ ලොකු පුතා බවත් තම ව්‍යාපාරය පුතාට බාර දුන් නමුත්, පීටර් අයියා ද නිතර කැන්ටිමට එන බවත් මම දැන සිටියෙමි.

 එහෙත් මෝටර් සයිකලයේ ගමන් බිමන් යන මට නගරයට ගියත් වේටින්හෝල් එකට ගොඩවදින්නට අවශ්‍යතාවක් මෑතක දී ඇති නොවීම නිසා බොහෝ කලකින් පීටර් අයියා දකින්නට නොලැබිණ.

රෝහල් ගත ව සිටින ඔහුට දැන් හරි හැටි වචන උච්චාරණය කළ නො හැකි ය. එක් අතක් එහා මෙහා කළ නොහැකි ය. කකුලක් ද අප‍්‍රාණික බව ඔහු මටත් ජයවීරටත් කීවේ එහා මෙහා කළ හැකි අතින් ඒ කකුල පිරි මැද පෙන්වීමෙනි.

ජයවීරත් මාත් රෝහලට යන විට පීටර් අයියා ගේ ඇඳ ළඟ සිටියේ ඔහු ගේ ලොකු පුතා බව හැඳිනගන්නට මට හැකි විය. ඔහු තාත්තා ගේ කපාපු පලුවකි. දවසේ ආදායම අහිමි වීම නිසාදෝ ඔහු සිටියේ නොරුස්නා මුහුණින් යුතු ව ය.

ටික වේලාවක් අපට ඉඩ දී පසෙකට වී සිටි ඔහු මමත් ජයවීරත් තම පියා දෙස කම්පාවෙන් බලා සිටිනු දැක අප කිට්ටුවට ආවේ ය.

“මෙයාට කොච්චර කිව්වත් වැඩක් නෑ. ලෙඩ වෙන්ඩ පටන් ගත්තට පස්සෙ මම කඩේ බාර ගත්ත. ගෙදරට වෙලා ඉන්ඩ කිව්වට අහන්නෙ නෑ. කඩේට ඇවිත් ඉස්සරහින් මේසයක් පුටුවක් දාගෙන ඉඳන් පුරුදු රාජකාරිය. ගිය සුමානෙ ඒ පුටුව උඩ සිහි නැති උනා”

පුතා ගේ කතාවට පීටර් අයියා අපහසුවෙන් සිනාසෙන අන්දම දුටු මගේ සිතෙහි මහත් වේදනාවක් හට ගත්තේ ය. කතා කරන්නට හැකි වූයේ නම් ඔහු කුමක් කියනු ඇත්ද? ඔහු ගේ මුහුණේ වූයේ අසනීපය නිසා හටගත් වේදනාවක් මිස පසුතැවිල්ලක ලකුණු නො වේ.

 යමක් කියාගත නො හැකි කෙනකු දෙස වැඩි වේලාවක් බලා සිටිය නො හැකි ය. ඔහු ගේ අප‍්‍රාණික අත අල්ලා තදින් මිරිකා සමුගත් මම ඒ වේදනාව සිත දරාගෙන රෝහලෙන් පිට ව ආවෙමි.

පීටර් අයියා අසනීපව රෝහලේ සිටින බව අනෝමාට කියන්නට බැරි චකිතයක් මා තුළ විය. රාති‍්‍රයේ මා තද නින්දේ පසුවෙද්දී මගේ දෑස් ඉදිරිපිට පීටර් අයියා මිය ගියේ ය. ඔහුට අවසන් ගරු බුහුමන් දක්වන්නට විශාල පිරිසක් පැමිණ සිටියහ. ඔහු ගේ නිසල දේහය වටා මල්වඩම් දහස් ගණනක් විය.

 මමත් අනෝමාත් ගෙන ගිය ලොකු මල්වඩම කොතැන තබන්දෝ යි වට පිට බලන විට අප මෙන් ම මල්වඩම් අතැති ව සිටින සිය ගණනක පෝළිමක් දක්නට ලැබිණ. පෝළිමේ සිටින මගේ මිතුරෝ සියලු දෙන ම පාසල් නිල ඇඳුම් හැඳ ටයි පටි පැලඳ සිටිති. මහ පිරිස් මැද තෙරපෙමින් සිටි මම අපහසුවෙන් ගෙල හරවා අනෝමා දෙස බැලුවෙමි. ඇය හැඳ සිටින්නේ මල් වැටුණු චීත්ත ගවුමකි. ඇගේ උරහිසේ පොත් බෑගයකි.

මල් වඩමක් දෑතින් ඔසවාගෙන පිරිස අතර තෙරපෙමින් සිටින අපේ දුව අනුරාධා දැකීමෙන් මම තිගැස්සුණෙමි. මගේ ඇස් වහා ම අනෝමා දෙසට හැරිණි. ඇය මා දෙස බලා සිටියේ අවතාරයක් දුටු කලෙක මෙනි.

“අපි යමු”

ඇය මගේ අතින් අල්ලා අදිමින් ආපසු හැරුණා ය. මම මල්වඩමත් ඔසවාගෙන අනෝමා පසුපස දුවන්නට පටන් ගත්තෙමි.

https://archives.silumina.lk/punkalasa/20080127/_art.asp?fn=ar0801272




Nissanka Rajapaksa

unread,
May 13, 2024, 7:54:51 PMMay 13
to INDRAKA group
42
කටුස්සා


ඇන්ටන් චෙකොව්ගේ  Chameleon නමැති කෙටිකතාවේ

පූර්ණ සිංහලානුවාදය යි.


අනුවාදය පරාක‍්‍රම ඇස්. විජේවර්ධන

අලුත් කබායකින් සැරැසුණු පොලිස් පරීක්‍ෂක මකුමිලොව් වෙළෙඳ පොළ හරහා ගමන් කෙළේ කිසියම් ලිපිගොනු මිටියක් දෑත රුවාගෙන ය. දඬුවමකට ලැබුණු ගුස්බෙරි පැසක් රැගත්, රත් පැහැ කෙසින් යුතු පොලිස් කොස්තාපල්වරයෙක් ඔහු පිටුපසින් ගමන් කෙළේ ය.

මුළු පරිසරය ම නිහඬ ය. වෙළෙඳ පොළෙහි කිසිවෙක් නො වී ය. කුඩා කඩ සහ අවන්හල් දොරටු විවර ව තිබුණේ කුසගින්නේ තැවෙන මුවන් රැළක් සේ ය. ඒවා අසල එක ද සිඟන්නෙක් හිටගෙන නො සිටියේ ය.

හිටි හැටියේ ම මකුමිලොව් ගේ සවනත හඬක් වැකිණි. “එතකොට උඹ හැපුවා, පර බල්ලා! ඒයි කොල්ලෙනි, ඌට යන්නට ඉඩ දෙන්න එපා! මේ දවස්වල හපාකන්ට ඉඩදෙන එක තහනම් දෙයක්! ඌ අල්ලා ගන්නවා! ඕ!”

බල්ලකු ගේ කෙඳිරිලි හඬක් ඇසිණි. මකුමිලොව් කෙඳිරිගෑම ඇසුණු දෙස බැලුවේ ය. ඔහු දුටුවේ මෙවැන්නකි. පිචුගින් දැව වෙළෙන්ඳා ගේ මිදුල දෙසින්, බල්ලෙක් පාද තුනකින් දුවගෙන ආවේ ය. පිටුපසින් දුවගෙන ආවේ, බොත්තම් නොපියැවුණු කොට කබායක් ඇඳගත් මිනිසෙකි. ඔහු ගේ මුළු සිරුර ම පෙරට නැමී තිබුණු අතර, මිනිසා නැමී බල්ලා ගේ පිටුපස පාදයකින් අල්ලා ගත්තේ ය. කෙඳිරි ගෑමක් සහ කෑගැසුමක් නැවතත් ඇසිණි:

“ඌට යන්නට ඉඩ දෙන්න එපා!”

නිඳිබර මුහුණු, කඩ සාප්පු තුළින් පිටතට එබිණි. ඊළඟ මොහොතේ දැව වෙළෙන්දා ගේ මිදුල පුරා මිනිස්සු පිරුණෝය.

“කරදරයක් වෙලා වගේ මහත්තයෝ!” පොලිස් කොස්තාපල් තෙපළේ ය.

මකුමිලොව් හැරී පිරිස සිටි දෙසට ගියේ ය. මිදුලෙහි ගේට්ටුව ඉදිරිපිට, බොත්තම් නො පියැවුණු කොට කබාය ඇඳගත් පෙර කී මිනිසා, දකුණත ඔසවාගෙන, ලේ ගලන ඇඟිල්ලක් පිරිසට පෙන්වමින් සිටගෙන සිටියේ ය.

“මං උඹට හොඳ පාඩමක් උගන්වන්නම් රාක්‍ෂයා!” වැනි වූ හැඟීමක් ඔහු ගේ වෙරි වූ මුහුණෙහි තිබුණු අතර, ඇඟිල්ල ඉහළට එසවී තිබුණේ ජයග‍්‍රාහී කොඩියක් ලෙසට ය. මකුමිලොව්, කම්මල්කරු යුකින් හැඳින ගත්තේ ය.

පිරිස මැද, ඉදිරි පාද දෙපසට තබාගත් වරදකරු හිඳගෙන සිටියේ ය. උගේ මුළු සිරුර ම ගැහෙමින් තිබුණු අතර, උල් වූ නාසිකාවක් ද, පිටුපස කහ පාට පුල්ලියක් ද ඌට තිබිණි. උගේ කඳුළු බර දෑස් තුළ වූයේ, බිය සහ අසරණ බව දනවන පෙනුමකි.

“මොකක්ද මේ වෙලා තියෙන්නේ?” මකුමිලොව් පැවසුවේ පිරිස අතරින් ඉඩ ගනිමින් ඇවිද යමිනි.

“නුඹලා මේ මොනවාද කරන්නේ? නුඹ ඇයි මේ ඇඟිල්ලක් ඔසවාගෙන? කවුද කෑගැහුවේ?

“බැටළුවෙක් වගේ නිහඬව මං ඇවිදගෙන ගියා, මහත්තයෝ,” යුකින් පැවසුවේ මිට මෙලැවූ අතට කනිමිනි. ”මෙහි ඉන්න මිටි‍්‍ර මටි‍්‍රච් එක්කලා මගෙ දැව ව්‍යාපාරයක් තිබුණා. හදිසියේම කිසිම කාරණාවක් නැතුව මූ මගේ ඇඟිල්ලක් සපා කෑවා."

"සමාවෙන්න, මං වැඩ කරන මිනිහෙක්. මගේ කාර්යය දුෂ්කර වෙළෙඳ්‍රමක්. ඔවුන් ගෙන් මට වන්දියක් ලබා දෙන්න. ඇත්තෙන්ම තව සතියක් යනකල්ම මට මේ ඇඟිල්ල සොලවන්නවත් බැරි වෙනවා. නීතියෙන්වත් කියවෙන්නේ නෑ, මහත්තයෝ, අපි භයානක සතුන් ඉවසන්ට ඕනෑ කියලා. මෙහෙම කාගෙත් හපන්න ගත්තොත්, ජීවත්වීමේ වටිනාකමක් නැතිවේවි."

“හ්ම්... හොඳයි, හොඳයි,” මකුමිලොව් තදින් පැවසුවේ ඔහු ගේ ඇහිබැමි තද කරමිනි. “හොඳයි, හොඳයි මේ බල්ලා කාගේද? මං මේක ලේසියෙන් අරින්නෑ. බල්ලෝ දඩාවතේ යවනවාට මං මිනිසුන්ට හොඳ පාඩමක් උගන්වනවා! නීති රීතිවලට යටත් වෙන්නේ නැති මහත්වරුන්ට, කුමක් හෝ කළ යුතු කාලය දැන් ඇවිල්ලා! මේ අධමයාට දඬුවමක් කළ යුතුයි. බල්ලො, හරක් දඩාවතේ යවනවාට දිය යුතු දඬුවම මං ඔහුට ලබා දෙනවා! මං ඔහුට ඒක අද පෙන්නලා දෙන්නම්! එල් සිරින්,” ඔහු කතාව කරගෙන ගියේ කොස්තාපල් දෙසට හැරෙමිනි.

“මේ බල්ලා කාගෙද කියලා හොයාගන්ට, ඒකට පැමිණිල්ලක් කරන්න. පරක්කු නොවී බල්ලා විනාශ කරලා දාන්ට ඕනෑ. ඌට ඇත්තෙන්ම පිස්සු... කාගෙද මේ බල්ලා, මං අහන්නේ?”

“මං හිතන්නේ මේ ජෙනරාල් සිගලොව් දිහා ඉන්න බල්ලා.” පිරිසේ සිටි කෙනෙක් පැවසුවේ ය.

“ජෙනරාල් සිගලොව්! හ්ම්. මට උදව් කරන්න. මේ කෝට් එක හදාගන්ට. එල්ඩිරින්... හුහ්, මෙහෙ රස්නෙයක්! වහින්න වගේ.” හෙතෙම යුකින් දෙසට හැරුණේ ය.

“එකක් මට තේරුම් ගන්ට බෑ. ඌ නුඹේ හැපුවේ කොහොමද? ඌ නුඹේ ඇඟිල්ල කෑවේ කොහොමද? මෙච්චර පුංචි බල්ලෙක්, නුඹ වගේ තක්කඩියෙක්! නුඹේ ඇඟිල්ලේ ඇණයක් ඇනී තියෙනවා. ඒකට වන්දියක් ගන්ට නුඹට ඕනෑ කළා. මං දන්නවා නුඹලා වගේ අය! යක්කු!”

“ඔහු විහිළුවට සිගරට් කොටේකින් ඔය බල්ලගෙ නහය පිච්චුවා, මහත්තයෝ, එතකොට ඌ ඇඟට පැන්නා. ඒක මෝඩ වැඩක්! යුකින් ඔය වගේ විහිළු නිතරම කරනවා, මහත්තයෝ!”

“ඕවා බොරු කතා, ස්ක්වින්ටි! ඔබ දැක්කාද මං එහෙම දෙයක් කරනවා. ඇයි මේ බොරු කියන්නේ? ඔබතුමා ඥානවන්ත කෙනෙක්. කවුද බොරු කියන්නේ, කවුද ඇත්ත කියන්නේ කියලා ඔබතුමා දන්නවා. මගේ සහෝදරයෙක් පොලිසියේ ඉන්නවා. ඔබට දැනගන්ට ඕනෑනම්...”

“තර්ක කරන්ට එපා!”

“නෑ, ඒ ජෙනරාල් තුමාගෙ බල්ලා නෙවේ.” කොස්තාපල් පැවසුවේ කල්පනා සහගතවය. “ජෙනරාල් තුමාට එහෙම බල්ලෙක් නෑ. එතුමාට ඉන්නේ දඩයම් බල්ලෝ.”

“නුඹට සහතිකද?”

"එහෙමයි මහත්තයෝ!”

“ඔබ හරි! ජෙනරාල් තුමාට ඉන්නේ වටිනා බල්ලෝ. ඔක්කෝම හොඳ වංශෙ... මේ බල්ලා - මූ දිහා බලන්න! කැහුටු ගැහිච්ච එකෙක්! මේ වගේ බල්ලෙක් කවුද ඇති කරන්නේ? ඔබට පිස්සු! මේ වගේ බල්ලෙක් මොස්කව්වල හෝ පීටස්බර්ග් නගරයේදී හමුවුණේ නම් ඌට මොකක්ද වෙන්නේ කියලා ඔබ දන්නවාද? ඌ එක මිනිත්තුවකින් විනාශ කරලා දමාවි”

“ඇත්තෙන්ම මූ ජෙනරාල්ගෙ බල්ලෙක්ම තමා” කොස්තාපල් යළිත් කීවේ ය. “උගේ පෙනුමෙන් කියන්ට බෑ. ඊයේ මේ වගේ බල්ලෙක් එතුමාගෙ වත්තේ හිටියා මං දැක්කා.”

“ඔව්, ඌ ජෙනරාල් තුමාගෙ බල්ලාම තමයි!” පිරිස කීවෝ ය.

“හ්ම්! මගේ කබාය හරිගස්සන්න. එල්ඩිරින්... මට සීතලක් දැනෙනවා. මූ ජෙනරාල් තුමා ළගට ගෙනිල්ලා, ඒ අයගෙන් අහන්න. මට මඟදී හම්බුවෙලා එව්වා කියලා කියන්න. ඒ අයට කියන්ට බල්ලා ටවුමට එවන්ට එපා කියලා. ඇත්තෙන්ම ඌ වටිනා බල්ලෙක්, හැම මිනිහාම සිගරට්වලින් උගේ නාසය පුච්චන්න ගියොත්, ඌ විනාශ වෙන්ට පුළුවන්. බල්ලෙක් කියන්නේ බොහොම සියුමැලි සතෙක්. ඔබේ අත පාත් කරන්න, ගුඩ්ඩයා! ඔබේ තකතිරු ඇඟිල්ල ඔක්කෝමලාට පෙන්වන එක නතර කරන්න. ඒක ඔබේම වරද...”

“මේ එන්නේ ජෙනරාල් තුමාගෙ නායක අරක්කැමියා. අපි ඔහුගෙන් අහමු... හී, මෙහේ, පෙ‍්‍රාකර්, මෙහාට එන්න! මේ බල්ලා දිහා බලන්න.. ඌ ඔහේලාගේද?”

“මොනවා, මේ වගේ බල්ලෙක් ජීවිතේටවත් අපිට හිටියේ නෑ!”

“තවත් අහලා වැඩක් නෑ” මකුමිලොව් පැවසුවේ ය. “මූ දඩාවතේ යන එකෙක්. මෙහෙ කතා කර කර ඉඳලා ඉතින් වැඩක් නෑ. ඔබ කිව්වානේ මූ දඩාවතේ යන බල්ලෙක් කියලා, ඒක හරි, මූ විනාශ කරලා දාන්න. ප‍්‍රශ්නෙ ඉවරයි.”

“ඌ අපේ බල්ලෙක් නෙවේ,” පෙ‍්‍රාකර් කීවේ ය.

“ඌ ජෙනරාල් තුමාගෙ සහෝදරයාගෙ බල්ලා. දැන් ටික්කට ඉස්සර වෙලායි ඌ ගෙදරින් ආවේ. අපේ ජෙනරාල් තුමා මේ වගේ බල්ලන්ට කැමැති නෑ. ඒත් එතුමාගෙ සහෝදරයා කැමැතියි...”

“මොනවා ජෙනරාල් තුමාගෙ සහෝදරයා ආවාද?” ව්ලඩිමිර් ඉවනිච්?” ඔකුමිලොව් විස්මිත ව පැවසුවේ ය. ඔහු ගේ මුහුණෙහි පී‍්‍රතියෙන් කුල්මත් වූ සිනාවක් පැතිරිණි.

“ඔහේ! මං ඒක දැන හිටියේ නෑ. නවතින්ට ආවා?”

“අන්න හරි.”

“කදිමයි! ඔහුගේ සහෝදරයා බලන්ට ඕනෑ! මං දැන හිටියේ නෑ. ඌ එයාගෙ බල්ලා? බොහොම සන්තෝසයි! ඌ ගෙනයන්න... ඌ ලස්සන පුංචි බල්ලෙක්! ඔහුගෙ ඇඟිල්ල කාලා? හා - හා - හා! මෙහාට එන්න, වෙව්ලන්ට එපා! ගර් - ගර්... මූට තරහා ඇවිල්ලා වගේ... නියම කුක්කෙක්!”

ප්‍රොකර්, බල්ලාත් සමග දැව වෙළෙන්ඳාගේ මිදුල පැත්තට ගියේ ය. පිරිස යුකින්ට සිනාසුනා හ.

“මට නුඹව මතකයි!” මකුමිලොව්, ඔහු තැති ගන්වමින්, සිය කබාය හොඳින් පොරවාගෙන, වෙළෙඳපොළ හරහා ගමන් කළේය.

https://archives.silumina.lk/punkalasa/20071209/_art.asp?fn=ar0712093





Nissanka Rajapaksa

unread,
May 14, 2024, 7:12:43 PMMay 14
to INDRAKA group

43

තෙහෙට්ටුව

විමල් කුලන්දෙයි වේල් ගේ “අසදි” කෙටිකතා සංග‍්‍රහයෙනි

පරිවර්තනය මොහොමඩ් රාසුක්

අක්කරෙයිපත්තු, කෝලාවිල්, පනංකාඩු, තම්පට්ටෛ වැනි ප‍්‍රදේශවල සිට අනාථව සංක‍්‍රමණය වූ ජනයාගෙන් තිරුක්කෝවිල් හා තම්පට්ටෛ ප‍්‍රදේශවල පාසැල් හා දේවාල පිරිඉතිරී යමින් තිබිණි.

අනාථව පැමිණ සිටි ජනයාගේ උවමනා එපාකම් පිරිමසාලීම සඳහා තිරුක්කෝවිල් තම්පිළුවිල් ජනතාව යුහුසුළුව කි‍්‍රයාකාරී වෙමින් සිටියහ.

පියාගේ වයසට ඒ අනථාගාරවල තදබදය ඔරොත්තු නොදෙන බැවින්, දුර නෑදෑ ගෙදරක ඔහු නවතනු ලැබිණි.

අසල අනාථාගාරයක නැවතී සිටි ඔහු ගේ දියණියෝ සිය පියා ගෙන හැරලූ මධ්‍යස්ථානයට මධ්‍යම රාති‍්‍ර දොළහ පමණ වනතෙක් විටින් විට පැමිණ තොරතුරු සොයා බැලුවාය.

ඒ නිවසේ තරුණ කාන්තාව විසින් සැපැයූ රාත්‍රී ආහාරය ප‍්‍රතික්ෂේප කළ ඔහු, ඇය සාදා දුන් තේ කෝප්පය පමණක් බීමෙන් පසු ඉස්තෝප්පුවේ එළා තිබුණ පැදුරේ වැතිර ගත්තේය. නිදි නොලබා විටින් විට ඒ මේ අතට පෙරළෙමින් සිටි ඔහු දුටු නිවසේ තරුණ කාන්තාව ‘ඇයි සීයේ නින්ද යන්නෙ නැද්ද, ගෙයි දාඩිය නම් මිදුලේ නිදාගන්නකෝ. අපි නිදාගන්නෙත් මෙතන. මොනවහා හරි උවමනා නම් කථා කරන්න’ යැයි පැවසූ විට පැදුර හකුලා ගත් ඔහු එය දොරකඩ වැල්ලේ එළා වැතිර ගත්තේය.

තිරුක්කෝවිල් මුහුද ගේ අසලටම ගලා එන්නාක් සේ රළ බිදෙමින් හඬ නැඟිණි. මහ මුහුද දෙසින් හමා ආ සුළඟ ගතේ දැවටෙන විට තද සීතලක් දැනිණි. නින්ද ඔහු වෙත ළං නොවී මුරණ්ඩු වන්නට විය.

උඩුබැල්ලෙන් නිදා සිටි ඔහුට පාවී යන වලාකුළු තුළ සැඟව සිට තාරකා ඔච්චම් කරන්නාක් සේ විටින් විට දැල්වෙමින් හැංගිමුත්තන් කරන්නට විය.

කිසිම ආකාරයක වේදනාවක් දුකක් හෝ කනස්සල්ලක් නොමැති මේ මහලු වියේ නින්ද පමණක් තමන් වෙත ළංවන්නට අකැමැති වන හේතුව කුමක් දැයි ඔහු කල්පනා කරන්නට විය. කුමන හෝ දෙයක් රැගෙන එන්නට අමතක වූවාක් සේ, කුමන හෝ දෙයක් තමන්ගෙන් ගිලිහී ගියාක් සේ ඔහුගේ සිතුවිලි කැළැඹී ගොස් තිබිණි.

තමන් ගැටයකුව සිටිද්දී පියාත් සමග ඈත කැළයට ගොස් කපාගෙන ආ තේක්ක ලීවලින් තැනූ නිවස ඔහුගේ මතකයට නැඟිණි. තම ලොකු පුතා ඉපැදුණු මොහොතේ තම දෑතින්ම තැනූ තොටිල්ල ගෙයි වහලය මුදුණේ ලනුපොටකින් බැඳ එල්ලා තිබීම පිළිබඳවත්, දරුමුණුබුරන් ඇතුළු බොහෝ දරුවන් නැළැවුණු ඒ තොටිල්ල ඈත අහසේ ඒ මේ අතට පැද්දෙමින් තිබෙනවාත් ඔහු මනසින් දුටුවේය.

ළිඳ අසල කුකුළු කූඩුව තුළ කූඩු වී සිටි කුකුළන් තටු ගසා දමා උදාසීන බව මඟ හැරගන්නවා ඔහුගේ දෙසවනට ඇසෙමින් තිබිණි. නින්දට පෙර ජීවිතයේ කිසිම දිනෙක “තිරුප්පුගල්” හෝ “තිරුවාසගම්” (හින්දු ආගමික පාඨ) නොගයා ඔහු නින්දට ගොස් නැත.

ඒ කාලයේ ඔහු විසින් පද රචනා කර නිර්මාණය කර තම අතින්ම පිටපත් කරන ලද, ගම් රාශියකම වේදිකා ගතවූ “පාංචාලි සපදම්”, “මයාන කාණ්ඩම්”, වැනි ගැමි නාඩගම් පොත් සියල්ල පැරැණි ලී පෙට්ටියක් තුළ දමා ආරක්ෂාවක් නොමැතිව තබා ඒම පිළිබඳව ඔහුගේ යටි හිත නිතර ඔහුව පෙළන්නට විය.

ඒ නිහඬ මැදියම් රැය තුළ පවා ගමේ ඈත අහුමුළුවලින් මිනිස් කටහඬවල් හා මෝටර් බයිසිකල්වල ශබ්ද ඇසෙමින් තිබිණි. අනාථව සංක‍්‍රමණයව සිටි ජනයාට තාවකාලික නවාතැන් පහසුකම් සපයා දීම සඳහාත් ඔවුන්ගේ උපන්ගම් යථා තත්ත්වයට පත් වන තුරු ඔවුන් සඳහා ස්ථාවර නවාතැන් හා ආහාර පාන සපයා දීම සඳහාත් තිරුක්කෝවිල් ගමේ තරුණයෝ රෑ තිස්සේ දිව ඇවිදිමින් සිටින බව ඔහුට සිතාගත හැකි විය.

“මොකද සීයේ? නින්ද යන්නෙම නැද්ද? අලුත් තැනක්නෙ ඒකයි නිද්ද යන්නෙ නැත්තෙ” මැද සාලයේ නිදාගෙන සිටි තරුණ කාන්තාව කතා කළාය. ඔහුගේ සිත තුළ වද දෙන හැඟුම් මොනවා දැයි ඇය වටහාගෙන සිටියාය.

තම පැරැණි මතකයන් හා පෞරාණික බඩුභාණ්ඩ තුළ ගැලී සිටි ඔහුගේ දෙසවනට තිරුක්කෝවිල් පෙදෙසින් ඇසුණු කලබලකාරී බව, දවස උදාවුණු බව ඇඟවීය. පැදුරෙන් නැගිට්ට ඔහු කොට්ටය යට තිබුණ සළුව ගෙන ගසා දමා උරහිස මත දමා ගෙන පැදුර හකුලා බිත්තිය මුල්ලක හේත්තුකර ළිඳ අසලට ගියේය.

මුහුණ කට සෝදා පිරිසුදු වූ ඔහු සමුදුර යටින් කිමිද එන සූර්ය දිව්‍යරාජයාට දොහොත් මුදුන් දී නමස්කාර කර ගෙයි ඉස්තෝප්පුවට ගොස් නිවසේ කාන්තාව විසින් සැපැයුණු තේ කෝප්පය ගෙන බීවේය.

“පොඩ්ඩක් ඉවසන්න සීයේ. ඉඳිආප්ප තම්බල දෙන්නම්” තරුණ කාන්තාව පැවසූ ඒ වදන් සවනට නොගත්තකු සේ ඔහු ගෙයින් පිටතට බැස තිරුක්කෝවිල් දේවාල වීදිය ඔස්සේ ගමන් කරන්නට විය.

“තාත්තේ කොහෙද යන්නෙ?” හඬ ඇසී හැරී බැලූ විට, කෝවිල් මිදුලේ ළිඳ අසළ රංචු ගැසී සිටි ගැහැණුන් අතර වූ තම දියණියන් කතා කරගෙනම තමන් වෙත එනවා පෙනිණි.

“වතුර කළගෙඩිය ගෙනිහින් තියලා තාත්තා බලන්න එන්නයි හිටියේ. තාත්තා කොහෙද යන්නෙ?”

“කොහෙවත් නෑ. නිකං පාර පැත්තට ආව“ එසේ කියමින් ඔහු ඉදිරියට ගමන් කළේය.

“ඈතට ගිහින් අතරමං වෙන්නෙ එහෙම නෑ. ඉක්මනට එන්ට ඕනෑ” ගමන් කරමින් සිටි ඔහුගේ දෙසවනට දියණියන් ගේ වදන් ඇසෙමින් තිබිණි.

මඳ දුරක් ගමන් කොට තිරුක්කෝවිල් ප‍්‍රධාන වීදිය වෙත පැමිණි විට වීදිය ජනයාගෙන් පිරී තිබෙනවා පෙනිණි. අක්කරෙයි පත්තු, කෝලාවිල්, තම්පට්ටෛ ප‍්‍රදේශවල ජනතාව එක්තැනකට රැස්ව සිටීම හේතුවෙන් ඒ ගම වාර්ෂික උත්සව ස්වභාවයක් ගෙන තිබිණි.

එතැනින් ගමන් කොට ‘තම්බිලුපිල්’ තුංමංහන්දිය වෙත පැමිණි විට එහි සති පොළද ජනයාගෙන් පිරී ඉතිරී යමින් තිබිණි. එහි එළවළු, මාළු වැනි ද්‍රව්‍යයන් විකිණෙනවා මොහොතක් බලා හිඳිමින් සිටින විට “මොකද සීයේ මේ පැත්තෙ? යන හඬ ඇසී හේ හැරී බැලුවේය. ‘මේකලා’ සිනමාහල ඉදිරි දොරකඩ සිටගෙන සිටි තැනැත්තා දෙස ඔහු මොහොතක් බලා සිටියේය. ඔහු සංගරපිල්ලෙයි වඩුබාස්ගෙ මුණුබුරාය.

“නිකං... ටවුම බලන්න ආව පුතේ..” එසේ පවසමින් ඔහු තම්බිලුවිල් දිසාවට ගමන් කරන්නට විය.

මඳ දුරක් ගොස් තමන් ආ මඟ දෙස හැරී බලන විට එතෙක් පිරී සිටි ජනයා තමන් තනිකර කොහාටදෝ නොපෙනී ගොස් සිටි අතර වීදිය ශුන්‍ය වී තිබෙනු පෙනිණි.

“ඇයි මිනිහෝ.. උඹට පිස්සුද? තවත් මොකටද ඒ පැත්තට යන්නේ...?” ඔහුගේ පසු පසින් බයිසිකලයෙන් පැමිණි මාළු වෙළෙන්දෙක් ඔහුට බැන වදිමින් වේගයෙන් පැදගෙන ගියේය. එය ගණන් නොගත් ඔහු ඉදිරියටම ගමන් කරන්නට විය.

“මේ ළමයෝ... කොහෙද යන්නේ..?” හඬ ඇසී ආපසු හැරී බැලූ විට වීදිය අයිනේ පැලක ඉස්තෝප්පුවේ බිම ඇන තියාගෙන සිටි තම වයසේම මැහැල්ලක් සානුකම්පිකව ප‍්‍රශ්න කළාය. නැවතී මඳ වේලාවක් ඈ දෙස බලා සිටි ඔහු “නිකං.. මේ පැත්තට යනවා...” යැයි කියන්නාක් මෙන් අතින් සංඥා කර ඉදිරියටම පියවර මැන්නේය.

“තවත් ඉස්සරහට යන්න එපා, තම්පට්ටෛ වෙනකම් ආමි එක ඇවිල්ලා...” තවත් මාළු වෙළෙන්දෙක් ඔහු පසුකරමින් වේගයෙන් බයිසිකලය පදිමින් සිටියේය.

තම්බිලුවිල් සීමාව පසුකොට ‘කලුතාවිල්’ පුල්ලෙයාර් කෝවිල් පෙදෙසට සේන්දු වූ විට ඔහුට හැඟුණේ ජනශුන්‍ය වූ දූපතකට පැමිණ ඇතිවාක් මෙනි.

කලුතාවිල් කෝවිල් මිදුලේ මඳක් නැවති ගිමන් නිවූ ඔහු නැවත නැඟිට ගමන් කරන්නට විය. කලුනාවිල් කැළේ පාරින් මෝදර වෙත පැමිණි විට හිරු මුදුන්ව තිබිණි. තද හිරු රශ්මිය රැළි ගැසුණ සිරුර පුළුස්සා දමන්නට විය. උරහිසෙහි තිබුණ සළුව ගෙන හිසේ දමා හිරුට සාමයේ ධජය පෙන්වා ඉදිරියට ගමන්කර මෝදර පසු කරමින් තම්පට්ටෛ වෙත සේන්දු වන විට උගුර වියළී ඔහු දැඩි පිපාසයක් දැනෙමින් තිබිණි.

මඳ දුරක් ගමන් කළ ඔහුට තම්පට්ටෛහි වීදිය අයිනේ අත්තික්කා ගසක් යට සෙවණේ පොල් කොටයක් උඩ මුට්ටියක් මත ‘පිංතාලිය’ යැයි ලියා තිබෙනවා පෙනිණි. එයින් පැන් බිඳක් බිව් ඔහු ඒ සෙවණේ ඇන තියා ගත්තේය. දින කීයක් පැරැණි වතුර යැයි ඔහු දැන සිටියේ නැත. එහෙත් දැඩි පිපාසය නිසා එය ඔහුට අමෘතයක් විය.

නැවත නැඟිට පියවර මැන්න ඔහු කම්පට්ටෛ පසුකර කුඩා මෝදර වෙත පැමිණි විට පාරේ තාර උණු වෙමින් තිබිණි. ගිනියම් වූ තාර පාරේ පාද ස්පර්ශ කරන විට වේදනාව ඉවසා ගත නොහැකිව ඔහු පොඩි දරුවකු සේ උඩ පනිමින් දිව යන්නට විය.

පාර දෙපසේම කලපුවය. පාලමක් බඳු වීදිය, ගිනියම් වූ තාර පාරෙන් බේරී ගමන් කරන්නට සොලොප්පුවක් නැත. ඔහු ඉකිමනින් දුවමින් ගමන් කර මෝදර සීමාව පසුකර සතළිස් වන සැතපුම් ප‍්‍රදේශයට ඇතුළු විය.

ගිනියම් වූ තාර පාරින් බේරි සොලොප්පුවේ පය තැබූ විට තණ පඳුරු අතරෙහි සැඟව සිිට නෙරෙංචි කටු පාද රිදවන්නට විය. වේදනාව ඉවසා ගත නොහැකිව නැමී යටි පතුලේ ඇනුණ නෙරෙංචි කටුව ඇද විසිකර පහත්ව හිඳ ඈත බැලුවේය.

සතළිස් වන සැතැපුම් කණුවේ සීමාවෙන් වෙන් වූ තම ගං පෙදෙස පෙනිණි. උස් වූ තෘණ යායක් සේ ඈත හරිත වර්ණයෙන් පෙනෙන තම උපන් ගම් පියස දකින විට ඔහුගේ ගතට ප‍්‍රබෝධයක් දැනෙන්නට විය.

තවත් මඳ දුරක් ගොස් සතළිස් වන සැතැපුම පසු කළොත් එතිනින් ගඟ පෙදෙසට බැස අතුරු පාරකින් ගමට සේන්දු විය හැකිය යන බලාපොරොත්තුවෙන් හේ පය ඉක්මන් කෙළේය.

“ඒයි... නැවතියන් යකෝ...” තිගැස්සී ඔහු හැරී බැලුවේය. සතළිස්වන සැතැපුම් ප‍්‍රදේශයේ ඇති සෑම පාළු නිවසක් තුළින්ම එකවිටම මතුව පිටතට පැනගත් සෙබළ පිරිසක් ඔහු වට කරගනිමින් සිටියහ.

“ඒයි නාකියා උඹ කොහෙද යන්නේ...?”

ඔහු කිසිවක් කතා කරගත නොහැකිව තුෂ්නිම්භූත විය.

“උඹට පිස්සුද නාකියා? උඹට අපි අඬගහන්නත් ඕනෑද?” යි තුවක්කුවක් මානාගෙන පහර දෙන්නට ආ සෙබළකුට තවත් සෙබළෙක් බාධා කළේය.

“එපා ගහන්න එපා.” මහල්ලා තම මුහුණ වැසෙන සේ දෑත් එකතුකර වැඳගනිමින් බිම හිඳ ගත්තේය.

‘කියපන් යකෝ උඹ කොහෙද යන්නේ?’ ඔහු කිසිවක් කියා ගත නොහැකිව සිටියේය. පළමු සෙබළා නැවත පහර දෙන්නට උත්සාහ කරන විට දෙවැන්නා නැවත බාධා කළේය.

“ගහන්න එපා”... තවත් එකෙක් කීය. මේ අතරතුර කොහෙදෝ සිට දිව ආ හමුදා නිලධාරියෙක් දෙමළෙන් ප‍්‍රශ්න කෙළේය.

“වංගෙඩිය ගේන්න අමතක වුනා මහත්තයා. ඒක ගේන්න යනවා.” එය ලොක්කාට නොවැටහිණි. දෙමළ දන්නා සෙබළකු එය පහදා දුන් විට අනෙක් සෙබළු කොක් හඬලා සිනා සෙන්නට වූහ. නැවත ඔවුන් තම මුහුණ රළු කර ගත්හ.

“ඒයි නාකියා... ඉක්මනට ගිහින් උඹේ වංගෙඩිය අරගෙන ඉක්මනට මේ පාරෙන්ම ආපහු එන්න ඕන. ආවේ නැත්නම් හොයාගෙන ඇවිදින් අපි උඹව මරලා දානවා” ලොක්කා එසේ පවසන විට ගුරුවරයාට අවනත වූ සිසුවකු සේ හිස සොලවමින් ඔහු ඉදිරියට ගමන් කළේය.

සතළිස් වන සැතැපුම පසුකර ගං පෙදෙසට බැස්ස විට වියළි පිදුරු බවට හැරී තිබුණ උස් තණ පඳුරු ඔහුගේ දෙපාවලට සට සට ගා කැඩී පයේ ඇනිණි.

වියළී ගොස් තිබුණු තණබිම පසුකර යද්දී තද ගිම්හාන රශ්මිය නිසා පැළී ඉරී තැළී ගොස් තිබුණ බිමේ හිඩැසක පය හිර වී ඔහු ඇද වැටුණේය. නැවත නැඟී සිට ඍජුව හිඳ ඈත බැලුවේය. පිළිවෙළකට වගා කැරුණු හේන් ගොවි බිමක් සේ ඈතින් පෙනුණු තම උපන් ගමේ පේළියට වැවුණ පොල් ගස් තම නෙත ගැටෙන විට දෙපාවල වේදනාව අමතකව ගොස් දෙපා ඉදිරියටම ඇදෙන්නට විය.

වියළී ඉරිතැළී තිබුණ ගං බිම් තීරුව පසුකර බාගෙට වියැළුණ රොන් මඩ තට්ටුවක පය තැබුණ විට සපත්තුවක් සේ එහි මඩ තැවරී උස්සා තැබිය නොහැකි තරමට බරක් දැනිණි. ඒ රොන් මඩ පෙදෙස පසුකර ගං එගොඩට ගොස් තම ගම් සීමාව වෙත ඇතුළු වූ විට ගම නිද්‍රාවට පත් වූවාක් සේ නිසොල්මන්ව සිටියේය.

ගමට ඇතුළු වූ ඔහු තම නිවස වෙත ගොස් දෙපා සෝදා ගැනීම සඳහා ළිඳ වෙත එබී බැලූ විට, පොල් මල් හා පුවක් මල්, ළිං දිය දැලක් සේ වසා ගෙන තිබිණි. තුලාව ළිඳ තුළට බා, බාල්දියෙන් මල් ඇට මෑත් කර වතුර බාල්දියක් ඇද දෙපා සෝදා ගත් ඔහු ඉනේ තිබුණ යතුරු කැරැල්ල ගෙන නිවසේ දොර ඇරියේය.

යතුර රිංගවා දොරගුළු හැරිය විට ‘මා තනිකර කොහෙද ගියේ?” යැයි අසනවාක් මෙන් ‘කී‍්‍රං’ හඬ නගමින් දොර ඇරුණේය.

නිවස තුළට ගිය ඔහු තම පැරැණි ලී පෙට්ටිය හැර බැලුවේය. “කම්බ රාමායණය”, “කම්බ පුරාණය”, පොත් සමඟ තමන් විසින් ලියා තනු නිර්මාණය කර වේදිකා ගත කරන ලද ගැමි නාඩගම් පොත් පත හා “මයාන කාණ්ඩම්”, “පංචාලි සබදම්”, පොත්ද පිටතට ගෙන එළියට ඇද බලන විට “සර සර” හඬ නඟා කුමක් හෝ දෙයක් පෙට්ටියේ මුල්ලට වැටුණි. ඔහු අත ගා බැලීය.

සල්ලාරි ජෝඩුවක් අත ගැටුණි. එය පනස් වසරකටත් වඩා පැරැණිය. දැනුදු දිස්නෙ දෙමින් තිබිණි. පොත්පත් සමඟ එයද අතට ගෙන රෙදි මල්ලේ දමා පෙට්ටිය අයින් කර වහලය දෙස බැලීය. තම ජීවිතයේ දරුවන් බොහෝ දෙනකු නැළැවූ තොටිල්ල වහලය මුදුණේ එල්ලෙමින් තිබෙනවා පෙනිණි. නොදැනීම දිගු සුසුමක් ඔහුගේ ප‍්‍රාණ කූඩුවෙන් පිටවිණි.

දාර වසා දමා යතුර පොත් මල්ලේ දමා ගෙන දොරකඩ වෙත ආ විට පැරැණි සෙරෙප්පු ජෝඩුවක් නෙත ගැටිණි. දෙපාවල ඇනුණු නෙරෙංචි කටු ඔහුගේ සිහියට නැඟිණි. සෙරෙප්පු ජෝඩුව ගෙන අඹ ගස මුල තබා ඔහු මුළුතැන්ගෙට ගියේය.

මුළුතැන් ගෙයි ළිප් ගැට්ටේ තිබුණ පෙට්ටිය දැක කුමන හෝ දෙයක් සිහියට නැගුණාක් සේ දර කෑලි කීපයක් ගෙන ළිප දල්වා ළිඳ අසලට ගොස් අසල ඇති මයියොක්කා ගස ඇද බැලුවේය.

ඔහුගේ මහලු බවත් සමඟ එකඟ වන්නට අකැමැතිව මයියොක්කා ගස මුරණ්ඩු බවක් පෙන්වීය. ළිඳෙන් වතුර බාල්දි කීපයක් ඇද මයියොක්කා ගස මුලට හැලුවේය. ගස මුල වාඩිගත් ඔහු කුඩා ළමයින් සෙල්ලම් කරන්නාක් සේ ගස මුල දෑත්වලින් හාරා පස් ඉවත ලන විට තඩි අල ගෙඩියක් තම මුහුණත පෙන්වන්නට විය. ඔහු එය ‘ටක්’ ගා අඹරා කඩා ඇද එළියට ගෙන ගස මුලට පස් රොක් කළේය.

මුළුතැන් ගෙට ගොස් ළිපේ ගිනි අඟුරු තුළ අලය හංඟා පිටතට පැමිණ නිවසට වටා රවුමක් ගැසුවේය. අල්ලපු වත්තේ බැඳ සිටි එළුවකුට අසල බල්ලන් කීප දෙනකු බුරමින් සිටිනු දුටු ඔහු කම්බි වැටෙන් රිංගා ගොස් බල්ලන් එලවා ලණුපටින් එළුවා ඇදගෙන විත් මයියොක්කා අතු කන්නට හැරියේය. කොටන්න ආ කපුටකුගෙන් බේරි අඹ ගසේ මුදුනට නැඟගත් ලේනකු දැක ඔහුගේ තොලගට සිනහවක් නැඟිණි.

දිය නා අවසන් වූ ඔහු වෙට්ටිය හැඳ අමුඩය ලිහා මිරිකා වැලේ වනා සළුවෙන් ඇඟපත පිස දමා ගෙන ගස මුදුන බැලුවේය. ගස මුදුනේ සිටි ලේනා ඔහු දෙසම බලා සිටිනවා පෙනිණි. මිනිසා තමන් දෙස බලා සිටිනවා දුටු ලේනා තවත් අත්තකට පනින විට නැඟුණ ‘සර සර’ හඬ මේ දිවා කාලය තුළ පවා තම ගම කොතරම් නිසොල්මන් දැයි ඔහුට සිතා ගත හැකි විය.

ළිඳ වටේ තණ කොළ වැවී තිබිණි. ඇන තබා ගෙන හිඳිමින් ඔහු ඒවා උදුරා විසි කළේය. පෙරදා රාති‍්‍රය පුරා නින්දක් නැත. දහවල් පුරා ඇවිද්දේය. හිස් බඩත් සමග දිය නෑවේය. මේ සියල්ල එකතු වී කුසගින්න තවත් වැඩිකරමින් තිබිණි.

ළිපෙන් නැඟුණ අල තැම්බෙන සුවඳ බඩගින්න තවත් වැඩි කළේය. මුළුතැන් ගෙට ගොස් ගිනි අඟුරු තුළ සැඟව තැබූ අලය පිටතට ගෙන වතුර ඉස ළිප නිවාදමා අලයත් රැගෙන පිටතට ආවේය.

අඹ ගස් සෙවණේ සළුව එළුවේය. රැගෙන යන්නට සූදානම් කළ පොත් මල්ල තමන් අසලින් තබා ගත්තේය. සළුව මත අලය පොතුහැර කුඩා කෑල්ලෙන් කෑල්ල මුව තුළට ඔබා ගන්නට විය. තැම්බුම් සුවඳද සමඟ අලයේ රසය ඔහුගේ මුහුණේ ඉරියව්වෙන් පිටතට දිස්විණි. කුස ගින්නේ දැඩි බව නිසා මුළු අලයම ඔහු ගිල දැම්මේය. ළිඳෙන් වතුර බාල්දියක් ඇද බඩ පුරා වතුර බී අහස දෙස බලන විට හිරු අවරට යමින් තිබිණි.

“ඉක්මනට ආපසු එන්න ඕන. ආවෙ නැත්නම් සොයාගෙන ඇවිල්ලා අපි උඹව මරලා දානවා.” හමුදා සෙබළා කී වදන් සිහියට නැඟෙත්ම සැණින් නැඟිට ගොස් වැලේ තිබුණු අමුඩ ලේන්සුව අතගා බැලුවේය. තෙත නිසා එය තාමත් එකට ඇලී තිබිණි.

නැවත ඔහු එළා තිබුණු සළුවේ වාඩි විය. පෙර දින රාති‍්‍රයේ නිදි වැරීම, දවස පුරා ඇවිද්ද මහන්සිය, බඩපුරා ආහාර ගැනීම, මේ සියල් හේතුවෙන් ගතට දැඩි තෙහෙට්ටුවක් තිබිණි. සිරුර සළුව මත නිදැල්ලේ වැතිර වූ පසු ඔහුටත් නොදැනී අවසරයක් නොමැතිවම දෙනෙත් පියවෙමින් තිබිණි.

සූර්යයා සැඟවී ගොස් අන්ධකාරය පැතිරෙන්නට විය. මල්ල අනාථව ඔහු අසලම තිබුණේය. වැලේ වනා තිබුණු අමුඩ ලේන්සුව සුළඟට පාවී අවුත් ඔහුගේ දෙපා අසළ වැටී තිබිණි. සියල්ල අමතක ඔහු...

https://archives.silumina.lk/punkalasa/20071125/_art.asp?fn=ar0711254





Nissanka Rajapaksa

unread,
May 15, 2024, 8:07:59 PMMay 15
to INDRAKA group
44
අධි­වේග මාවතේ ඉබ්බා

- කැත්ලීන් ජයවර්ධන 

මාග­ලක් වගේ පේන දිගම දිග තාර පාරේ මැද හරියේ තියන එක ම එක කෑම­කඩ පේලිය දිහාට - අව­න්හල් සංකී­ර්ණය පැත්තට හැර­වෙන කාර්-බාර් පියා­ඹ­ගෙන එන්නේ හොර අඩි තිය තියා වගේ. බංගලි රෝස පඳුර අස්සේ මං පරාණ බයෙන් තැග් ගැහි-ගැහී ඉන්නේ හොර සෙය්‍යා­වෙන් එන ඒ නවීන වාහ­නේක රෝදෙ­කට ඉබි­ක­ටුව කොයි­වෙලේ චප්ප­වෙලා යයි ද කියන බයෙන්. දක්ෂිණ අධි­වේග මාර්ගය ඉදි­වෙන්න කැලෑපාළු කරපු කාලෙ බිත්ත­ර­යක් බිඳ­ගෙන ඇවිදිං අහස දැකපු මට, කාල­යක් මේ ඉස­වුවේ නොමැරී ජීව­ත්වෙන්න වරම ලබා­දුන්නේ දෙවි­යන් වහන්සේ ද මේ ඉබි­ක­ටුව ද එහෙ­මත් නැත්තං ඒ දෙකම ද කියන එක දන්නෙත් දෙයි­යොම තමයි.  

‘ඉබ්බන්ට, කැස්බෑ­වන්ට කර්ණ­ප­ට­ල­යක් තිබු­ණට මොක ද උන්ට ඇසීම අනු­ව­ර්ත­නය වෙලා තියෙන්නේ උන් ජීව­ත්වෙන ජලය වගේ මාධ්‍ය­යක් තුළින් සම්ප්‍රේ­ෂ­ණය වෙන ශබ්ද අඳු­ර­ගන්න විත­ර­මයි’ කියල පණ්ඩිත කතා­වක් දව­සක් කිව්වේ මෙත­නට ආව මනු­ස්ස­යෙක්. බම්බුව තමයි. එහෙම නං කොහොම ද ඒ කියාපු කතා­වත් මට ඇහුණෙ?  

එළි­ම­හනේ අට­වල තිබුණ මේස පොඩ්ඩක වාඩි­වෙලා ගෝල­බා­ලයො දෙතුන් දෙනෙ­කුත් වට­කරං බට­ය­කින් සිසිල් බීමක් උර-උර උන්නු ඒ රැවු­ල්කාර තල­ත්තෑනි මනු­ස්සයා විද්‍යා­ඥ­යෙක් ද පර්යේ­ෂ­ක­යෙක් ද කියල හරි­ය­ටම හිතා­ගන්න අමා­රුයි. එයා කිව්වේ ‘ඉබ්බෝ, කැස්බෑවෝ වගේ උර­ගයෝ අයි­ති­වෙන්නේ කෙලෝ­නියා ගෝත්‍ර­යට’ කිය­ලයි. ඉතිං බලමු, ගෝත්‍ර­වාදී මිනි­හාම නේ සත්තුන්ගේ ගෝත්‍ර හොය­න්නෙත්? හැම­දේම වර්ගී­ක­ර­ණය කරන මිනිහා පර්යේ­ෂණ කියල කර­න්නෙත් වර්ගී­ක­ර­ණ­යක්. සතු­න්ගෙන් වුණත් වෙන­ස්කම් දකි­න්නම නේ දෙවි­යන් වහන්සේ මිනි­හාට ඇස් දෙකක් දීල තියෙන්නේ?  

ඔන්න ඉතිං මං හිතන්න ගත්තා. අර පැත්තට හිතුවා. මේ පැත්තට හිතුවා. මිනිස්සු නං හිතං ඉන්නේ ඉබ්බන්ට හිතන්න දන්නේ නෑ කියල. ඒත් ඉබ්බන්ට බැරි කතා කරන්න විත­රයි. ඉතිං එහෙම වර්ගී­ක­රණ ගැන හිතා­ගෙන හිතා­ගෙන යන­කොට තමයි තේරුණෙ දේවල් ගැන වැඩි­පු­රම කතා­ක­රන්නේ ඒ දේවල් ඇත්තේම නැති උද­විය ද කියලා. සාධා­රණේ ගැන, යුක්ති­ධර්මෙ ගැන, වාර්ගික එක­මු­තුව ගැන කෙස්පැ­ලෙන තර්ක ඉදි­රි­පත් කරන මිනි­හෙ­කුගේ හැබෑ නිරු­වත මං දැක්කෙ රෑ මැදි­ය­මක අධි­වේගි මාර්ගෙ අධි­වේගෙං ඇවිත් ගල­ගැ­හුව වගේ නතර කරපු වාහ­න­යක් ඇතු­ළෙන් දෝංකාර නංවපු දෙබ­ස­කින්.  

’මොනව හරි බොනව ද?’  

’මට ඕන්නැති බීමක් නෑ’  

සද්දන්ත පුරු­ෂ­යෙක්, සැමි­යෙක් අඩි­යට දෙකට බීම හල­කට දුව­ගෙන ගියේ ‘උඹ ඕන කුද­යක් ගහ­ගනිං’ කියන්න වගේ. කාන්තාව, බිරිඳ දුර­ක­තන බට්ටෙක් අතට ගත්තෙත් ඒ යන දිහාට හොර බැල්මක් හෙළා­ගෙන.  

‘මට ඕන නෑ රමේෂ්, මං මාව ගෙද­රට ඇර­ලන්න කියල කිව්වෙ බොරු­වට. හොඳේ. මං දැං එන්නේ ඔයාගේ එපා­ට්මන්ට් එකට... මොනව ද කියන්නෙ? මහ ලොකු උප­දේ­ශ­කයා. 

මානව හිමි­කම් ඩ්‍රාමා එකේ පුරෝ­හිත පාට් එකයි රඟ­පාන්නේ නං සාම කැඳ­වු­ම්කරු. හිමි­කම් ගැන කතා කරන්නෙ ලෝඩ් වගේ. හැබැයි ගෙදර ගෑනිට එකම අයි­ති­වා­සි­ක­මක් වත් නෑ. කොයි ආණ්ඩුව ආවත්, කවුරු බල­යට පත්වු­ණත් මේගො­ල්ලම තමයි උප­දේ­ශ­කයෝ. මේක කොම­ඩි­යක් ද ට්‍රැජ­ඩි­යක් ද මන්දා.’  

මිනි­ස්සුන්ගේ වර්ගී­ක­ර­ණයේ හැටි­යට කිය­නව නං මං ඇවිල්ල තාරකා ඉබ්බෙක්. මගේ පිට­ක­ටුව හැදිල තියෙන්නේ ලීයෙන් කරපු අපූරු කැට­යම් වගේ ලස්සන උස වැටි­ව­ලින්. ගොඩ­බිම වාසය කරන අපි සාමා­න්‍ය­යෙන් නං ශාක භක්ෂ­කයෝ. 

ඒ වුණාට පණු­වෙක්, ගොළුබෙ­ල්ලෙක් දැක්කොත් අහක බලං යන පුරු­ද්ද­කුත් නෑ අපට. කර­දියේ ඉන්න අපේම ඥාති කැස්බෑ­වුන්ට නං ඔන්න මාංස භක්ෂ­කයෝ කියල එක වංගි­ය­ටම කිව්ව­හැකි. එහෙම කියන කොට මට මතක් වෙන්නෙම මොර­ටුවේ මූදු­කරේ ඉන්න මස් කැස්බෑ­වන්ව. ලෝක ප්‍රසිද්ධ කැස්බෑ සුප් මිනිස්සු හැදුවේ උංගේ මස්ව­ලින්ම තමයි.  

මිනිහා කියන මේ අරුම පුදුම සතාගේ පර්යේ­ෂණ සූත්තර ගැන මං ආයි­මත් හිතන්න වුණා. අවු­රුදු දශ­ලක්ෂ ගණ­නක් ගෙවු­ණත් විකා­ශය අතින් ඉබ්බෝ වැඩි­පුර වෙන­ස්වෙලා නැති ලු. ඒක හොඳ­ටම තේරුම් යන්නේ පොසි­ල­ව­ලින් ලු. සත්තු එහෙම දනි­ප­නියේ වෙනස් වෙන්නේ නෑ තමයි. ඉතාම ඉක්ම­නින් ඇසි­ල්ලෙන් වෙනස් වෙන්න දන්න එකම සතා මිනි­හා­මයි. පාට මාරු කිරීමේ තර­ග­යක් තිබු­ණොත් කටු­ස්සන්ට වුණත් ලැබෙන්නේ දෙවෙනි තැන.  

බුරුල් පස් තිබුණ තැනක වළක් හාරලා අම්මා දාල තිබුණ බිත්ත­රෙන් එළි­යට ඔළුව දාල මුලින්ම අහස බලපු වෙලේ අහස් නිලට ගැළ­පෙන තද­නි­ලට හුරු කොළ­පා­ට­කින් බැබළි බැබළී උන්න වෘක්ෂ­රා­ජයො අද වගේ මට මත­කයි. 

ඉස්ඉ­ස්සර වෙලාම ලෝකේ දැක්ක ඒ වෙලා­වෙදි මූද ගොඩ­ග­ල­නව වගේ මහ හඬක් ඇහෙන්න අරං කන්අගුළු වැටුණ වගේ වුණත් මං ඇස්පි­යා­ගත්තේ නෑ. ඇත්තම කිය­නව නං උපන් ගමන්ම මං අව­තීර්ණ වෙලා උන්නෙ සංග්‍රාම භූමි­ය­කට. රුක්දෙ­වියො උන්නෙ දෙපැ­ත්තට වැනි වැනී. 

ඒ මහ­ගස් අත්හිස් අහ­සට ඔස­ව­ගෙන උන්නෙ උඩ ඉන්න දෙවි­යන්ට යාච්ඤා කර­නව වගේ. යුද පිටි­යක වෙඩි පහ­ර­කින් පපුව පසා­රු­වුණ මහ­සෙ­න්ප­තියෝ වගේ තමයි ඒව බිමට කඩා වැටුණෙ. මාත් එක්කම බිත්තර බිඳ­ගෙන ආපු ඉබි පැටවු රොත්තම අභා­ව­ප්‍රාප්ත වුණේ කඩා­වැ­ටුණ ගස්වල සද්දන්ත කඳ­න්ව­ලට යට­වෙලා. මුළුලෝ­කෙ­ටම මං විත­රයි කියන හැඟීම මගේ ඇස්ව­ලට කඳුළු ගෙනාවේ සහෝ­දර සහෝ­ද­රි­යන්ගේ අභාවෙ නිසාම නෙවෙයි. ඉත්තෑවො, මීමින්නො වගේම අහසේ පියා­ඹන මොනර රාජයෝ පවා මළ­ක­ඳන් බවට පත්වෙලා කුණු­ලො­රි­ව­ලට පැට­වෙන හැටි දැක්කට පස්සේ තමයි මට එහෙම හිතුණෙ.  

මොනව කරන්න ද ඉතිං? ලෝකෙ දියුණු වෙන්න ඕන ලු. දියුණු ලෝක­යක් නිර්මා­ණය කර­න­වයි කියන එක මිනි­ස්සුන්ට අයිති වැඩක් ලු. ඒක තියෙන්නේ ඉබ්බන්ගේ ආව­රණ කලා­පෙන් එහා ලු.  

අධි­වේග පාරක ඉබ්බෙක් තනි­වෙ­න­වයි කියන්නේ මොන­වගේ අත්දැ­කී­මක් ද කියන එක හිතා­ගන්න කිසි­කෙ­නෙ­කුට බෑ. අවු­රුදු හාර­සී­යක් විතර ජීවි­ත­කා­ල­යක් ගෙවා­දාන්න මේ ලෝකෙට උත්පා­ද­නය වුණු ඉබ්බෝ කී දාහක් නං මේ අධි­වේ­ගෙට බිලි­වෙලා ඇද්ද?   

එක­පා­ර­ටම වැස්සක් පටන් අරං වැස්ස නැව­තුණේ මොහො­ත­කින්. එක­පා­ර­ටම පායන මේ අව්-වැහි විග­ඩම ගැන හිතා­ගෙන හිතා­ගෙන යන­කොට එක­පා­ර­ටම මැද්දට පැන්නෙ කොරෝ­නාව ගැන මත­ක­යක්. පැලෙන්න තරං හයි­යෙන් සද්දෙට දාපු රේඩියෝ කතා­ව­කින් තමයි මං ඒ කොරෝනා කත­න්දරේ දැන­ගත්තේ.   

දෙයි­යම්පා මේ ලෝකෙට අහ­වල් දෙයක් සිද්ධ වුණා ද කියල මං හිතන්න ගත්තේ කොරෝ­නා­වෙන් සොබා­ද­හ­මට විතැන් වුණ රේඩියෝ කතා­කා­රයා කිව්ව භය හිතෙන කතා­වක් අහල. භෞතික විද්‍යාව විකාර විදි­හට විස්තර කරන මේ අරුම පුදුම ලෝකේ, මිනිහා කියන සතාගේ භූමි­කාව මොකක් ද කියන එක පැහැ­දිලි කර­න්නයි එයා උත්සාහ කළේ. 

ඒ කියපු බර­ව­චන හැම එකක් ම දිර­ව­ගන්න නං ඉබ්බෙ­කුට අමා­රුයි. ඒත් ස්වභාව ධර්මයේ සම්මු­ති­ව­ලින් ගැල­විලා ගිය මොක­වත්ම මිනි­හගේ ඇතුළෙ නැති විත්ති­ය­කුයි එයා කියා­ගන්න හැදුවෙ. එත­කොට මොනව ද ඒ සොබා­ද­හමේ සම්මුති...?   

කතා­කා­රයා දිගින් දිග­ටම කියා ගෙන ගියේ හිතේ කේන්ති­යෙන් ද කන­ගා­ටු­වෙන් ද කිය­න්නත් අමා­රුයි. හෝමෝ­සේ­පි­යන් කියන්නේ කැස්බෑ­වෙක්ට වගේ දිග කාල­යක් පව­තින්න පුළුවන් සත්ත්ව විශේ­ෂ­ය­කට නෙවෙයි ලු. මිනිස් ගණ­යට අයිති අනිත් සත්ත්ව කොටස් දැන­ට­මත් වඳ­වෙලා ගිහින් ලු. මිනිස් ඉති­හා­සය ගැන, ශිෂ්ටා­චා­රය ගැන දැනු­වත්ව බලා ඉන්න උසස් මන­සක් ඇති මනු­සතා විනා­ශ­කා­රි­යෙක් වීම ගැන තමයි එයා දිගින් දිග­ටම කිව්වේ. ලෝකේ වැන­සුවේ මිනිහ ලු. 

සත්තු හෙම නෙවෙයි ලු. විනා­ශය ඉල්ලා ගත්තෙත් මිනි­හලු. කාල­ගුණ ව්‍යසන, පාරි­ස­රික උඩු-යටි­කුරු වීම් අනා­ග­ත­යේදී මිනි­හාට ආර­ක්ෂිත ලෝක­යක් නිර්මා­ණය කරල දේවියි කියල හිතන්න අමාරු ලු.   

මං කකුල් හත­රයි ඔළුවයි කටුව ඇතු­ළට ඔබා­ගෙන මවා­ගන්න උත්සාහ කළේ මං උප­දින දව­ස්වල තිබුණු නිල්පාට ලෝකෙ. 

ඊටත් කලින් තියෙන්න ඇතියි කියල හිතෙන ඒත් කව­දා­වත් දැකල නැති තද නිල්පාට දිය­රැළි, කෙත්බිම් උප­ක­ල්ප­නය කර කර මං හිටියේ කටුව ඇතු­ළ­ටම වෙලා. ඔන්න දැන්නං මගේ ඉබි­මොළේ ගම­නක් යන්නේ අධි­වේ­ගෙකිං. 

මිනිහා නිය­මා­කා­ර­යෙන් සොබා­ද­හම ජය­ගන්න හිතුවෙ, ඒකට පිඹු­රු­පත් සකස් කරන්න වුණේ අවු­රුදු දෙසී­ය­කට-දෙසි­ය­ප­න­හ­කට කලින් ඉඳ­ලයි කියන කත­න්දරේ පූර්වා­පර සන්ධි ගළ­ප­ග­න්නයි මට දැං වුව­මනා. 

අප්‍රි­කාවේ සැවානා තණ­බි­ම්වල ඉඳං නූතන තාක්ෂණ ලෝකය දක්වා අවු­රුදු ලක්ෂ තුනක් විතර ආපු දීර්ඝ ගමන මිනිහා එන්න ඇත්තේ අධි­වේ­ගෙ­කින් ද? මන්ද­ගා­මීව ද? මොන අධි­වේ­ග­යක් ද? සම­හර විට ඒ ඉබි­ග­ම­නින්ම වෙන්න ඇති. හෙමින් ගමන ඇඟට ගුණ විත්තිය හරි­ය­ටම තේරුම් අරං ඉන්නේ ඉබ්බෝ.  

අවු­රුදු ලක්ෂ ගණ­නක් තිස්සේ මිනි­හාට නොනැසී පව­තින්න පුළුවන් වුණේ හිමින් ගමන නිසා වෙන්න බැරි ද කියන අලුත් සංක­ල්ප­නාව තමයි දැං මගේ හිතේ නලි­යන්නේ. මිනිහා අද වෙන­කොට විනා­ශය නැත්තං ස්වයං ඝාත­නය ඉල්ල­ගෙන තියෙන්නේ අධි­වේගී ධාවන පථ­යක තර­ඟ­කා­ර­යෙක් වුණ නිසා ද? මේ ධාවන පථයේ දිනු­ම්ක­ණු­වක් තියෙ­නව ද?  

‘අධි­වේ­ගය මරු කැඳ­වයි’ කියල කිව්වට, ලිව්වට අධි­වේග පාර­කදි කිසි­කෙ­නෙ­කුට හැරෙන්න වත් නව­තින්න වත් බෑ. ප්‍රශ්නේ ඕකයි. රොක­ට්ව­ලින් ඉහ­ළට යන්න මිසක් පොළොව දිහා බලන්න, පොළොවේ පය­ග­හල ජීව­ත්වෙන්න දැනං උන්න සතෙ­කුට යැයි ‘මිනිහා’ කියන්නේ?  

මං අධි­වේග පාර දිහාට හිමින්-හිමින් ගාටන්න වුණේ ඉබේට මතු වුණ පුංචි හිනා­ව­කුත් එක්ක. දෙවි­යන් වහන්සේ ඉබ්බට දිග ආයු කාල­යක් ප්‍රදා­නය කළේ මේ ඉබි­ග­මන නිසාම වෙන්නැති කියන එකයි මගේ අව­සාන නිග­ම­නය වුණේ.

https://archives1.silumina.lk/2020/03/14/%E0%B6%B4%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B6%BD%E0%B7%83/%E0%B6%85%E0%B6%B0%E0%B7%92%C2%AD%E0%B7%80%E0%B7%9A%E0%B6%9C-%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%9A-%E0%B6%89%E0%B6%B6%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F

Nissanka Rajapaksa

unread,
May 16, 2024, 8:16:50 PMMay 16
to INDRAKA group
45
සරාගේ ලෝකය

- ශාන්ති දිසානායක 

හැන්දෑ අන්ධකාරය මඳින් මඳ දැඩි වුවද වැව් දියෙහි ඒ හැටි සිහිලසක් නැත. දිවාකල මුළුල්ලේ චණ්ඩ හිරු රැසින් බැටකෑ බවට දෙස්දෙන මඳ උණුසුම් දියෙහි ගිලෙන්නට නොඉවසිලිමත් සිරුර වෙනදා මෙන්ම සිතට පරිදි .සිතන්නට හා තැවෙන්නට කරුණු කාරණා එමට ඇතත්, ඇය හොද්ද හැඳිගාන්නාක් මෙන් සිත හාරා පාරා පිරික්සන්නට ප්‍රිය නොකරයි. බාලේ තවම බොඳ නොවූ ගැඹුරු ළිඳේ මතකය සංත්‍රාසය දනවයි.

එදා ජංගිපොඩිය තෙමා දැමූ, සන්ත්‍රාසය මෙදා ඒසා දැඩි නොවෙතත් එහි ස්මරණය තවම බිය ජනකය.

"එන්නෙ එහෙම නෑ තනියම ළිඳට.."යි තරවටු කරන්නට ඔහු අමතක නොකළේය. ඒද හතිලමිනි. කළගෙඩිය පුරවාගන්නට දැරූ ප්‍රයත්නය අතිශයින් වෙහෙසකරවූ බැවිනි. එහෙත් හතිලමින් පමා වන්නට ඉසිඹුවක් නැත්තේය. හෙවණැල්ල වාගේ. පස්සෙන් වැටෙන කෙල්ල ඉස්කෝලෙට තල්ලුකරදමා, බඩ රස්සාවට යායුත්තේය.

"කෙල්ල ඉස්කෝලෙ යවන්ඩ ඕනෑ හැමදාම"

මරණ මංචකයේදී ඇය මහත් වෙරවීරියෙන් කළ ඉල්ලීම පැහැර හරින්නට ඔහුට නොපුළුවන.

කිරිකැටියෙකු දැඩිමේනි කරන්නට නොමසුරුව කිරි වඟුල දෙතනම බිරින්දෑට මියපරලොව යන්නට හේතුභූත වනු ඇතැයි ඔහු කිසිකලෙකත් නොසිතුවේය. ඉතා සෙමින් වුවද වැඩෙමින් ඇගේ තාරුණ්‍ය හා ශක්තිය සහමුලින්ම උදුරාගන්නට ඒ නිහඬ මරුවා සමත්විය. පියයුර ඉවත් කිරීමෙන් පවා, ඇය දිවි ගලවාගන්නට භාග්‍යමත් නොවුවාය.

"කෙල්ල ඉස්කෝලේ ඇරලෝලම ඔයාට පොල් කඩන්ඩ යන්ඩ පුළුවන් නෙ.."

මනුස්ස ඇසකට විඳදරාගන්නට බැරිතරමට කෘශව සිටියදී, ඇය හෙළු ආයාචනාත්මක බැල්මෙන් ඔහු සසලව ගියේය. ඒ යට ගිලුණු ඇස් ඔහුගේ හදවත පසාරු කළේය. හිස සැලීමෙන් නොනැවතී කුමක් හෝ සැනසිලි බසක් තෙපලන්නට වුවමනා වුවද, ඔහු නිහඬවම පසුවිය.

" සාරා.."

ඔහු මේ උදෑසන බෙරිහන් දුන්නෙ දියණියගේ පා ගැටෙන හඬක් කන නොවැකි බැවිනි.

"සාරා.." යි

ඔහු තොල්මතුලේ වටපිට නොබලන්නට වගබලා ගනිමිනි. වාට්ටුව සිසාරා බැල්මක් හෙළන්නට ඔහු පැකිළේ. ඇඳක් පාසා විඩාබර හා වේදනාකාරී ගැහැනුද අලුත උපන් බිලිඳුන්ද දකින්නට ඔහු බියවේ. අඩි තිහ හතළිහක් උස පොල්ගසක නගින්නට බිඳකදු නොපැකිළෙන මිනිසා තැති ගන්වන්නට රෝහලද විශේෂයෙන් මේ වාට්ටුවද සමත්වෙයි.

"සාරා සංදීපනී..."

නන්දනී අඩ සිනාවෙන් පැවසුවාය.

"අනේ මංදා.. සංදීපනී නං හොඳයි.. සාරා..?"

"සාරා කියන්නෙ රාජ කුමාරිකාවක්,"

පොතපත කෙසේ වෙතත් සිනමා පත්තර මහත් රුචියෙන් කියවන නන්දනී, ගස්ගෙඩි කඩන තමාට වඩා නුවණැති බව ඔහු සිතයි. ඒ සිතිවිල්ලෙන් ඔහු නොකිපෙයි ගංගොඩේ උදවිය ගස් ගෙම්බායි තමාට අවමන් කරනබව ඔහු දනී.

"වන්නං දහඅටම නටලා උඹේ කරේ එල්ලුනානෙ නන්දනියා. "යි ජංගල් ධරුමේ හිනැහෙන්නේ කසිප්පු පැකැට්ටුවක් හිස් කිරීමෙන් පස්සේ.

"එව්වා මට වැඩක් නෑ ධරුමේ.... ඒකි දැං ඉන්නෙ මාත්තෙක්ක.. එච්චරයි කතාව"

එහෙත් ඒ කතාව එතෙකින් නවතා දමන්නට ජංගල් ධරුමේ සූදානම් නැත. ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග යන කතා බහ කෙළවර වන්නේ මැදියම් රැයෙහි නන්දනීගේ විලාපයෙනි.

"මං කලිංම කිව්වනෙ .. මං හැංගුවෙ නෑනෙ.. ඒ මිනිහා මාව කසාඳ බදිනවා කියලා මාව රැවැට්ටුවා තමා, ... ඒකට ගහන්ඩ ඕනෑ ඒ මිනිහටනේ... මට ගහන්නෙ ඇයි.?" යි හඬගා අසන්නට තරම් ඇය දිරිමත් වූවාය. ඒ පුරා සයමසක් සිය සැමියාගෙන් පහර කෑමෙන් පසුය.

"ගහන්ඩ එපා.... ආයෙ ගැහුවොත් නං මාත් ගහනවා.." යි ඇය දිදුලන දෑසින් තර්ජනය කළ රාත්‍රියේ ඔහු පසුබැස්සේය. ගැහැනියකගෙන් පහර කෑමට වඩා නිහඬව ඇඳේ වැටී නිදාගත යුතුබව ඔහු තීරණය කළේය.

"සාරා..."

ගුණසිරි පෙරට වඩා උස් හඬින් කෑගෑවේය.

"මේ එනවෝ..." යි කියා ගන්නටවත් බැරි තරමට කෙල්ල තැතිගෙන සිටියාය. ඇයට කළහැකි වූයේ බිම හිදගෙන හඬාවැටීම පමණි.

"සාරා.... ඇයි?. ඇයි මොකද? "

ඔහු ප්‍රශ්න කළේ කෝපයෙනි. ඉර මුඳුන්වූ පසු ගස් නැඟීම පහසු නැත.පොළවේ පයගසා හිඳීමෙන් සහ පොල්ගසක් මුඳුනේ රිළවෙකුට, දඬුලේනෙකුට වඩා කඩිසරව පොල්වලු කපා හෙළීමේ අතර වෙනසක් ඔහුට නැත්තේය.

"ඇයි අඬන්නෙ...?"

මුදු වදනින් ඇය සනසාලන්නට ඔහු වෑයම් නොකරයි. බිරින්දෑට පොරොන්දු වූ ලෙසින්ම ඇය පාසල් යවන්නට ඔහු වගබලා ගනී.

"සාරා......"

ඔහු ප්‍රිය නොකළද ඔහුගේ මුවින් ගිළිහෙන්නෙ "සාරා"යන නමම ය. "සංදීපනී"යි කියනවාට වඩා සාරායි කීම පහසුබව ඔහුට සිතේ.

"බයයි... මට බයයි."යි. සාරා ඉකිබිඳිමින්ම කී කළ ඔහු පුදුමයට පත්විය.

"බය වෙන්නෙ මොකටද?"

ඇය අත දිගු කළාය, ඒ ඔස්සේ හැරී බැලූ ඔහු දුටුවේ ළිඳ විනා අන් කිසිවක් නොවේ.

"ඇයි.. මොකෙක්ද.?" ඇය හිස දෙපසට සළමින් ඉකි බින්ඳාය. ඔහු හාත්පස සිසාරා බැල්මක් හෙළුවේය. එහෙත් ඇය බිය ගැන්විය හැකි කිසිවක් ඔහුගේ දෙනෙතට හසුනොවිණ.

"සාරා... මට උඹව හුරතල් කරකර ඉන්ඩ වෙලාවක් නෑ.. තේරුණාද.?. මං දැන් අක්කර හැත්තෑවට යන්ඩ ඕනෑ... ඉස්කෝලෙ මහත්තයාගේ පොල් මුරේ අද.. හරිනං මං මෙලහට ගස් දහයක්වත් බඩගාලා ඉවරයි."

ඇය කඳුළුත් සොටුත් එක්ක නැගිට ගත්තාය. එවන් ගර්ජනාවකට පස්සේ අතුල් පහරක් ⁣හෝ ටොක්කක් නොවරදින බැවිනි.

"නන්දනී.. මං උඹේ කුමාරිකාවට අත ඉස්සුවා."යි

පාපොච්චාරණය කරන මිනිසාගේ නෙතඟ කඳුළ නොදකින සාරා සංදීපනී ඒකාකාර රිද්මයකට හුස්ම ඉහළ පහළ හෙළයි. ඒ නිද්‍රාවේ ඇය, ඇගේ මවගේ තුරුලේ සැනහෙන බව ඔහුට නිසැකය.

"බලාපන් උඹේ මුහුණේ හැටි... මං දැන් කොහොමද උඹව ඔහොම ඉස්කෝලෙට එක්කාන යන්නෙ?"

දියණියගේ මුහුණකට බලාකියා ගන්නට ඉස්පාසුවක් ලද කෙනෙහි ඔහු අසන්නේ ළතැවුලෙනි.

"යමං.. ළිඳට බොන්ඩ ගෙනා වතුර කළේ නැති නාස්ති කරලා බෑ නෙව..." යි කියමින් ඔහු ඇගේ කුඩා අතකින් ඇද්දේය. එහෙත් ඇය ළිඳ වෙත යාම ප්‍රතික්ෂේප කරමින් යළිත් හඩා වැටුණාය. ඔහු සමඟ පොර බැද්දා ය.

"මේකිට මේ මොකද වෙලා තියෙන්නෙ.. ළිඳට නොයා කොහොමද මූණකට හෝදා ගන්නෙ,,?"යි ඔහු විමතියෙන්ද කෝපයෙන්ද කෑගෑවේය. එහෙත් මොහොතකට පෙර ළිඳට එබී බැලූ කෙල්ල යළි ඒ වෙත යන්නට කිසිසේත් කැමති නොවූවාය.

"ළිඳ ගාවට තනියෙන් යන්ඩ එපා ... ළිඳට එබෙන්ඩ එපා.." යි තාත්තා මන්තරයක් මතුරන්නා වාගේ කොතෙකුත් කියන්නෙ මන්දැයි පසක් කරගන්නට ඇයට ඒ එක් ඇසිල්ල ප්‍රමාණවත් විය.

එය ළිඳකට වඩා අඳුරු කුහරයක වෙස් ගත්තේය. ළිඳක් ඒ සා ගැඹුරු විය හැකිදැයි කෙනෙක් තුළ විස්මය මුසු සැකයක් ජනිත කරවනසුලුය. බැම්මක් බැඳ නොතිබුණෙන් ඊට එබෙන්නට කොට කැබැල්ල මත පය තැබිය යුතුය. කවාකාර බව හැරුණු විට පත්ලේ තවම නොසිඳි දිය එය ළිඳක් බව කියාපාන්නක් වැනිය. ඉහළ ලිහිල් පසෙහි විවිධාකාරයේ පැළෑටි වැසී තිබූ අතර පහළ කළුගල දිලිසුණේ එක්තරා අන්දමක සාහසික බවක් දරමිනි. කටුක නිකිණියේ සිඳී යන බැවින් ගුණසිරි කළුගල හාරා සාරා දැමීම සඳහා අපමණ වෙහෙසක් දැරුවේය.

ළිඳේ ගැඹුරත් පත්ලේ දියත් දරුවෙකු තැතිගන්වන තරමට භයංකර වීමේ අරුමයක් නොවිණ.

“මොකට මෙච්චර ඇට්ටරද මං දන්නෑ...“ යි ගුණසිරි පහර දුන්නේ බියෙන් හා ශෝකයෙන් පීඩිත කෙල්ලකටය.

වැව්තෙර වැඩුණු තරුණිය එවන් අතුල් පහරක මතකයෙන් පීඩා නොවින්ඳාය. ඒ රළු හා සවිමත් සුරත පොළෝ පස් අතරේ දිරාපත්ව යන බව ඇය අමතක කළාය.

ගුණසිරිගේ මරණය...! එය සිදුවූයේ ක්ෂණිකවය. බඩ වියත රැක ගන්නට පිහිට වූ පොල් ගසම ඔහු වෙත මරණය ප්‍රදානය කළේය. ඒ සඳහා ගැඹුරු ළිං පත්ල දැකීමෙන් තැතිගත් කෙල්ලද යහමින් දායක වූවාය. ඇගේ හැඬුම හේතුකොටගෙන නැති නාස්ති වූ කාලයම ඔහු උදෙසා ඒ සා විපතක් සූදානම් කර තිබිණ. අඩි තිහ හතළිහක් ඉහළ පොල් ඉති මත පය ලිස්සා ගියා නොවේ.

ඔහුගේ හතළිස් අවුරුද්දක ජීවිතය සැණින් හමාර කරන ලද්දේ ඇයට තැළුම් දුන් දෑතමය. කිලෝග්‍රෑම් පනස් පහක පංචස්කන්ධයක් හිස් අවකාශයේ අසරණව අනාථව පොළොවේ ගැටීමෙන් අත්පත් විය හැකි මරණය හෝ කොඳුඇටපෙළේ භග්නය වෙනුවෙන් ගතව ගියේ ඇසිපිය හෙළන නිමේෂයක් පමණි.

සාත්තු සප්පායම් කරන්නට බිරින්දෑ හුස්ම ඉහළ පහළ නොහෙළන බව දැන සිටියාක් මෙන් රළු පොළොව ඔහුට මරණය අත්පත් කර දුන්නේය.

“ඊටපස්සේ අතන මෙතන... යලට මහට ඉස්කෝලේත් ගියා.“ යි සාරා පාපොච්චාරණය කළේ පයැඟිලි තුඩු විකන මින් රැළ එක්කද...? නොඑසේනම් නුදුරෙහි ඕලු මල් යායට ඇහෙන්නද?

පිළිකාවට පරාජය වූ අම්මා ගැනද බඩ සා නිවා දැමූ පොල් ගහෙන් ඇද වැටී මිය ගිය තාත්තා ගැනද කියන්නට ඇයට වුවමනා වී තිබිණ. එහෙත් ඒ සඳහා තමා තෝරා ගත්තේ නිවැරදි මිනිසාමදැයි ඇය යළි යළිත් සිතුවාය.

“දුරින් නෑදෑකමක් තිබ්බ හිංදම නෙමේ. උඹ අර උඹේ බැන්දා කියන එකීගෙං ගුටි කනවා බලා ඉන්ඩ බැරුව මං එක්කාන ආවේ... දැං හොඳයිනෙ මට විච්චි දේ...“

තමාට කාරුණික වූ එකම ගැහැනිය හඬා වැටෙන අයුරු ඇය අකම්පිත හදවතින් බලා සිටියාය.

“දරු දෙන්නෙක් විච්චි... අප්පේ මං දැං මොකද කරන්නෙ?“

අම්මාගේ හැඬුම බෝ වූවා වාගේ දරු දෙන්නාද හඬා වැටෙන්නට වූයෙන් සාරා වහා නැඟී සිටියාය. ඇය මෙතෙක් වේලා හිඳගෙන සිටියේද කවර හෝ ගුටිබැට ප්‍රහාරයක් අපේක්ෂාවෙනි. එහෙත් ඒ වෙනුවට කඩා වැටුණේ කඳුළු බින්දුය. ඉවසිය නොහැක්කේ දරු දෙන්නාගේ ඉකි බිඳුමය. අම්මා හඬා වැටෙන්නේ මන්දැයි නොදත් කොල්ලත් කෙල්ලත් පිළිබඳව සාරා තුළ උපන්නේ මහත් සංවේගයකි.

“මං මැරෙනවා“ යි ඇය අප්‍රමාදව තීරණය කළාය. සිරවෙන සුසුම්ලන හදවතට යම් අස්වැසිල්ලක් අත්පත් වූයේ එකී තීරණයේ එල්බ ගැනීමෙන් අනතුරුවය. මරණය ළඟා කරගත හැක්කේ කෙසේදැයි කල්පනා කරන්නට කාලය මිඩංගු නොකළ යුවතිය වහා රෙදි පෙරෙදි ලක ලෑස්ති කරගත්තාය.

“මැරෙන්ඩ යන එකීට රෙදි මොකටද?“ යි අසන්නට අයෙක් ඒ වහල යට නොසිටියේය. තමාට ද්‍රෝහි වූ සැමියා සහ ඥාති දියණිය පිළිබඳව සිතමින්, දැවෙමින් හා තැවෙමින් හුන් ගැහැනිය දරු දෙදෙනා පවා නොදුටුවාය. සිරුරේ වෙළෙන ඒ ඇබිත්තං සිරුරුවල උණුසුම නොවින්දාය.

“සාරක්කෙ මාත් එනවා...“

“මාත්...“ යි වෙනදා මෙන් කොල්ලාත් කෙල්ලත් පස්සෙන් නොවැටුණු බැවින් ඇය පය ඉක්මන් කළාය.

ඇය වැව කරා ගමන් කළේ දිය නාන අදහසින් නොවේ. සැබැවින්ම ඉහළ නිල් අහසේ විරාජමාන මහෝත්තමයාගේ අනුහසින් වැව කෙසඟව කේඬෑරිව ගොසිනි. එහෙත් ඇගේ පමණක් නොව ඕනෑම කෙරුම්කාරයකුගේ පණනල උදුරා ගත හැකි තරමේ ගැඹුරක් හා සාහසිකත්වයක්ද ඒ වෙත තිබෙන බව ඇය දැන සිටියාය.

“නැ...නැන්දා... පව්...“

ඔහුගේ ආලිංගනය ඉවසමින් හා ඊට ලොබ කරමින් ඇය කොඳුළාය.

“මං ඒ ගෑනිට කිසි අඩුපාඩුවක් කරන්නෑ බං..“ යි ඔහු සපථ කළ කල්හි ඇය සිය දුබල විරෝධයද මැඬගත්තාය.

“මං මැරෙනවා... එතකොට ඔක්කොම හරි....“ යි යළි යළි මුමුණමින් ඇය වැවට බැස්සාය. දෙදණ තෙමන දියෙන් ඔබ්බට යා යුතු බව සිතන කල්හි ඇය වෙව්ලා ගියාය.

“මොකද වෙන්නේ ගාමන්ට්ටෙකට ගියහම... ඔය ඕනෑ තරම් ළමිස්සියෝ යන්නේ...“ යි කොතෙක් කරුණු ගෙනහැර දැක්වුවද ඇගේ මාමා එකහෙළා විරුද්ධ විය.

“නෑ නෑ ඕන්නෑ... ඔව්වට ගිහිං ඔය ගංජාකාරයෙක් හරි කුඩුකාරයෙක් හරි රවට්ට ගත්තාම සේරම ඉවරයි...“

ඔහුගේ ඒ වචන යළි ඇගේ දෙකනේ රැව් දුන්නේය. ඇගේ දෙනෙතින් ගලා හැළුණු කඳුළු වැව් දියට මුසු විය.

“සේරම ඉවරයි තමා මාමේ... ගාමන්ට් නොගිහිං ගෙදර ඉඳලත් සේරම ඉවරයි.“

පියෙන් පියව යන ඇය දියෙහි සිසිලසද ළං ළංව එළැඹෙන මරණයේ වේදනාවද විඳිමින් සිටියාය.

“සාරා...“

ඇය තිගැස්සුණාය.

“නැන්දා...?“ යි කියාගන්නට ඇය වැව් දිය ඉඩ නොදුන්නේය. දැනටමත් ඇගේ නිකට තෙක් දිය රළ රැළි නඟමින් තිබිණ.

“සාරක්කේ...“

ඇගේ ළය දැවී ගියේය.

“කිරි මල්ලී...“ යි ඇය අපමණ ශෝකයෙන් සිතුවාය.

“සාරක්කේ...“

ඇය වඩාත් ප්‍රිය කළාවූ බොළඳ හඬ ඇගේ දෑස යළි තෙමයි.

“චූටික්කි... අනේ මගේ චූටික්කි...“

වෙනත් ලෝකයකින් ඇසෙන තරමට දුරස් වූයේ නමුදු ඒ හැම හඬක්ම ඇගේ දෙකන නොව හදවත කලඹාලයි.

“මං මැරෙන්නෑ...“

හිටිහැටියේ පැන නැඟී සිතිවිල්ලෙන් ඇය විස්මයට පත් වූවාය.

“මට මැරෙන්ඩ බෑ...“

ඇගේ අවසන් සුසුම් පොද පතා බලා හුන් වැව් දිය කැලඹුණේය. ඇගේ නිරෝගි හා තුරුණු පෙණහලු තුළට වදින්නට නොඉවසිලිමත් වූ වැව් දිය කුපිත විය.

“මං මෙහේ..“ යි හඬ නඟා දැනුම්දුන් සාරා ආපසු හැරුණාය. ඇය වෑයමින් වුව දිව ගියේ වැව් තෙර කරා පමණක් නොවේ ජීවිතය වෙතය. ඇගේ ජීවිතාශාව කොතෙක් බලවත් වීද යත් ඇය වරෙක ඇද වැටුණාය. යළි නැඟී සිටියාය.

“චූටික්කි..“ යි බෙරිහන් දෙමින් ඇය යළි ආපස්සට අදින දිය දහරාවට නොපරදින්නට ඉටා ගත්තාය. එය වැවත් කන්‍යා භාවය අහිමිව තවම විසිහර පැයක් නොඉක්මවූ කෙල්ලකත් අතර ද්වන්දව සටනක්ම විය.

https://archives1.silumina.lk/2021/09/11/%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%92/%E0%B7%83%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA

Nissanka Rajapaksa

unread,
May 17, 2024, 7:48:28 PMMay 17
to INDRAKA group
46
සංසාර ගමනේ

• මල්රාජි වන්නිආරච්චි
 

“නිරංජලා පුතා කෝල් එකක් දුන්නා” සුජාන්ගේ කටින් ඒ වචන පහ කියවුණේ කැඩි කැඩී.

“මොකද්ද පුතා කිව්වේ?”

නිරංජලා ඇහුවේ ඔළුව ඉහළට ඔසවල සුජාන් දිහා එකඑල්ලේ බලාගෙන. සැමියාගේ මුහුණේ තිබුණ තැති ගත්ත ස්වභාවය ඇයව වාඩි වී සිටි පුටුවෙන් ක්ෂණිකව නැගිට්ටෙව්වා.

“තාත්තාගේ රිපෝර්ට් එක පොසිටිව්ලු.”

“දෙයියනේ අපේ පුතාටත් හැදේවිද දන්නේ.....නෑ” අවසන් කරන්නේ නැතිව ගිල ගත්තා.

“පුතා දැන් කොහෙද....?”

නිරංජලාගෙ අක්කා, සුරංගා කාමරෙන් එළියට එනගමන් ඇහුවා... ගෙදර කවුරු කොහේ ඉඳන් මොනවද කියන්නේ, කොතැන මොනවා කර කර හිටියත් ඇයට ඇහෙනවා….

“ගෙදර යන ගමන් කිව්වා”

“එයා එහෙ ගිහිං කොහොමද…?”

නිරංජලා ඉතිරි පද ටික කියාගත්තේ තමන්ටමයි “…සීයාගෙන් පුතාට බෝ වේවි. හපෝයි... දැනටමත් මගේ කොල්ලට හැදිලද දන්නෙ නෑ….”

හැමෝම තැන තැන වාඩිවෙලා කල්පනාවේ.

සුජාන් එකපාරටම නැගිටලා වේගයෙන් කාමරය ඇතුළට ගියා….

පුටුවේ උඩුබැලි අතට වැටිලා ඉන්න අක්කගේ විලාපේ… උණසන්නිපාතෙ හැදිලා වගේ… නිරංජලා අහක බලාගත්තා….

සැණෙකින් කාමරයට ගියා…. ඒ ටිකට සුජාන් සරමෙන් කලිසමට බැහැලා…

“අනේ ඔයා කොහෙද යන්නේ…? “

අහන්න ඕන ප්‍රශ්නෙකුත් නෙමෙයි. එත් අසරණ කමට ඇහුණා…

“දැන් තාත්තව හොස්පිටල් එකට ගෙනියන්න ඕන පුළුවන් ඉක්මනට....”

සුජාන් දැක්කා නිරංජලාගේ මුණෙ රැඳිලා තියෙන බිය සහ අසරණකම. ඒත් සනසන්න වේලාවක් නෑ. බිරිඳගේ පිටට තට්ටුවක් දාගෙන පිට වුණා...

“ඔෆිස් අයි. ඩී. එක පෙන්නන්න පොලිසියෙන් නතර කළොත්...”

සුජාන් ගියාට පස්සේ ගේට්ටුව වහලා, නිරංජලා එතනටම වෙලා බලා හිටියා. ඇඟ ඇතුළෙ ගිනිගන්නවා වගේ දැනුණා. කකුලුත් පණ නෑ... ඒත් ගේ ඇතුළට යන්න හිතෙන්නේ නෑ. දැන් ගෙට ගියහම අක්කගේ ළතෝනිය අහන්න වෙන බව ඈ දන්නවා ...

“… දැන් අපේ කොල්ලටත් හැදිලද දන්නෙ නෑ…”

“…මෙහෙම ගියොත් ඊළඟට සුජාන්ටත් බෝවේවි. අහල පහල අයටත් ආරංචි වේවි.....”

“නංගී… මෙන්න කෝල් එකක් සුජාන්ගෙන්....” අක්කා ෆෝන් එක නිරංජලාට දුන්නා.

“ඔයා ඔච්චර ඉක්මනට ගෙදරට ගියාද?”

“නෑ… පුතා කෝල් එකක් දුන්නා ...PHI කිව්වලු ගෙදර තියං බලාගන්න. අමාරු වුණොත් විතරක් හොස්පිටල් ගෙනියන්න කියල.... පුතා කියන්නෙ මට එන්න එපා. එයා සීයාව බලාගන්නම් කියලා.... එත් මට ඒක කරන්න පුළුවන්ද..? මගේ තාත්තානෙ...... අනික පුතාට විභාගෙට තියෙන්නෙ සති දෙකයි. ඔන්ලයින් තියන නිසා අමාරුයි..” කිය කියානේ හිටියෙ…”

සුජාන් කියන දේවල් අහගෙන හිටියා මිස ඒවාට දෙන්න උත්තර කිසිවක් නිරංජලාට තිබුණෙ නැහැ.

“ඔයයි පුතයි දෙන්නම තාත්තා ළඟ ඉන්න ඕන නැහැනේ....”

කියලා කියන්න හිතුණත් කියවුණේ නෑ.

ජිවිතේ මෙච්චර අසරණ වෙලා නෑ කවදාවත්. ඔක්කොටම හපන් අක්කාගේ කරච්චලේ. නිරංජලාගේ හිතපුරා ඒ මේ අත දුවන සිතුවිලි එකකට එකක් පරස් පරයි. චුටි මල්ලිට කිව්වද දන්නෙ නැහැ.

"ඔයා සුජාන්ට කිවුවේ නැද්ද මල්ලිට කියන්න කියලා... "

අක්කා කීප වතාවක්ම විවිධ ස්වර වලින් ඇහුවා.

“කොහොම නම් කියන්නද .... ඒත් සුජාන් කෙසේ වෙතත් පුතා මාමට කියල ඇති ...”

“…අපිට පෙන්නුවේ නැති වුණාට දෙන්නා හරි ළෙන්ගතුයි. විප්ලවකාරී අදහස් කොල්ලගේ හිතට දාන්නෙ ඔය චුට්ටා තමා. අපි ඈත් වුණාට ඒ දෙන්නාගේ ලොකු සම්බන්ධයක් තියෙනවා වගේ.” සුජාන් නිතර නිතර කිව්වේ එහෙමයි .

“ඔය දේශපාලන අදහස් අපේ කොල්ලගේ හිතට දාල කොල්ලගේ හිත අවුල් කරාවි”

කට්ටිය එහෙම දේවල් කිව්වට හිත අවුල් කිරීමට වඩා ඔබ්බට ගිය කාරණාවක් කාගෙ කාගේත් හිතේ තියෙනවා.

පුතා එන්න එපා කිව්වත් සුජාන්ට ගෙදර යන්න හිත දුන්නේ නෑ. තාත්තා බලන්න යන්නම ඕන කියලා හිතුණා.

වාහනේ තිබුණු මාස්ක් පෙට්ටියෙන් තව එකක් අරගෙන, දාල තිබුණ මාස්ක් දෙකට යටින් දාගත්තා. එත් මාස්ක් තුනක් එකවර ඔරෝත්තු දෙන්නේ නෑ. හුස්ම හිරවෙනවා වගේ දැනුණා. සුජාන් ආයෙත් තුන දෙකට අඩුකරලා, වාහනෙන් බැස්සා. ගේ ඉස්සරහ මෝටර් බයිසිකලයක් නවත්වලා.

“පුතාගේ යාළුවෙක් වෙන්න ඇති. පුදුමයි බය නැතුව ඇවිල්ලා…” ඔහුට හිතුණා. වට පිට කිසිම සද්දයක් නෑ. ඒත් අල්ලපු ගෙදර සීතා අක්කාගේ දුව යන්තම් අඩවල් කරපු ජනේලෙන් එබිලා, ආයෙත් සැණෙකින් ඒක වහ ගත්තා. අම්මගේ වැඩේ දැන් දුව බාරගෙන වගේ. ඔක්කොම අස්සේ සුජාන්ට ඒකත් හිතුණා.

ඉස්සර මල්ලී ඔය ජනේලෙට කිව්වෙ විමසුම් කවුළුව කියලා. සීතාට කිව්වේ අල්ජසීරා කියලා. පළාතේ සිදුවන සෑම දෙයක්ම සොයාබලලා, අතිනුත් දාලා ගමටම වාර්තා කළේ සීතා.

කාරෙක නවත්වන සද්දෙට පුතා දුවගෙන එළියට අවා.

“කිව්වනෙ තාත්තට එන්න එපා කියලා. ඇයි ආවේ. තාත්තාට අසනීපත් තියෙනවනේ”

පුතා යන මඟ හරස් කරගෙන හිට ගෙන වේගයෙන් කතා කරනවා.

“චුටි බාප්පා ඇවිත් ඉන්නේ”.

“චුට්ටා දන්නේ කොහොමද ?”.

“මම කිව්වේ. විනාඩි දහයක් ගියේ නෑ බාප්පා අවා”.

පුතා කියලා ඉවර වෙන්නත් කලින් මල්ලි එළියට ආවා.

“ඇයි අයියා ආවේ..?” කියලා අහගෙන.

“මම තාත්තාව බලා ගන්නම්, මම පුතාටත් කිව්වේ ගෙදර යන්න කියලා. විභාගෙත් ළඟයිනෙ.”

“ඩොක්ට කිව්වේ බෙහෙත් දීල ගෙදර තියාගන්න. අමාරුවක් වුණොත් විතරක් හොස්පිටල් ගේන්න කියලනේ”.

“මට ඉස්කෝලේ වැඩ ටිකයි ටියුෂන් පන්තියි සූම් එකේ කරගන්න පුළුවන් ..”

මල්ලී සුජාන්ට ගේ ඇතුළට යන්න බැරිවෙන්න අනිත් පැත්තෙන් හරස් කළා. ඒකත් දුරස්ථභාවය තියාගෙන.

“අයියා අපේ කිට්ටුවට එන්න එපා. අපිටත් කොහොමද දන්නෙ නෑනේ....”

මල්ලියි, පුතයි ඒ අස්සෙත් හිනා වෙනවා.

“එතකොට මට තාත්තා බලන්න බැරිද…? “

වැඩිහිටියාට දැන් බාලයන්ගේ අණ පිළිපදින්න වෙලා.

“තාත්තා යන්න. අපි සීයට කියන්නම්. තාත්තා අවා, අපි කියලා ආපහු ඇරියා... කියලා”

“අයියට පුළුවන්නේ ෆොන් එකෙන් තාත්තා එක්ක කතා කරන්න. කෑම කෑවේ ටිකකට කලින්. මගේ හිතේ දැන් නිදි ...”

“කෑම කොහෙන්ද ? “

සුජාන් ඇහුවා නෙමේ... ඇහුනා නොදැනීම.

“මම ගෙදරින් එනකොට දවල් කෑම අරගෙන ආවේ අපි තුන්දෙනාට, කෑම ප්‍රශ්නයක් නෑ. මාලා කවුරු හරි අතේ එවාවි.”

සුජාන් ගෙදර එන්න වාහනයට නැග්ගේ ගෙදරින් එනකොට හිතේ පුරවාගෙන ආපු ප්‍රශ්න ගැටලු භාගයකටත් වඩා මහ ගෙදර තියල. තමන් ඉපදුන, හැදුන වැඩුන නෑදෑ පරපුරම වසන ගම නුහුරු නුපුරුදු තැනක් සේ ඔහුට දැනුණි.

වෙනදාට තම වාහනය මහ ගෙදරට හැරෙන අතුරු මාවතට හැරවූ පසු කිහිපවතාවක්ම වාහනය නතර කර පාරේ එහා මෙහා යන නෑදෑ හිත මිතුරන් හා කතා බස් කිරීමට සිදු වේ. අද කිසිවකු පෙනෙන්නට නැත. එහෙත් ඔවුන් එහෙන් මෙහෙන් හොරෙන් බලා සිටින බවක් ඔහුට දැනුණි.

“තමන් උපන් ගමේම තමා හුදකලා වෙන කාලයක්” සුජාන් තමාටම කියා ගත්තේය. ඔහුගේ සිත තුළ මතුවූ ව්‍යාකූල සිතුවිලි අතරට තමා පිළිබඳ හටගත් ලජ්ජා සහගත සිතුවිල්ලත් එකතු වී සිතේ වෙහෙස කර බව වැඩි කළේය.

ඔහුත්, බිරිඳත් හැමවිටම උත්සාහ කළේ මල්ලිව පවුලෙන් ඈත් කර තබන්නටය. විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ, සමාජ සංවර්ධන ව්‍යාපෘතියක අංගයක් ලෙස නාගරික අඩු අදායම් නිවාස දරුවන් සඳහා පැවැත්වූ උපකාර පන්ති වැඩසටහනකදී හමු වූ තරුණියක හා මල්ලි ගොඩනඟාගත් සම්බන්ධයට තදින්ම විරුද්ධ වූයේ අම්මා ය.

“එක මේසෙක වාඩි වෙන්න පුළුවන් මිනිස්සුද.... කොල්ලගේ දේපළ ගන්න රවට්ටගෙන....”

“හිතුවක්කාරෙට ඔය විවාහේ කරගත්තනෙ… දෙන්නෙ නෑ කිසිම දේපළක්…”

අම්මාගේ කීම් කෙසේ මුත්, පියා දේපළ ලිවීමට කලබල වුයේ නැත. කලබල වූවානම් ඒ සිය මවගේ හදිසි අභාවයෙන් පසු තම බිරිඳ නිරංජලා පමණක් වග සුජාන් සිහිපත් කළේ කනස්සල්ලෙනි. කනස්සල්ලට පත්වන්නට තරම් තවත් බොහෝ දේ සිදුවිය.

"කෝල් කීයක් නම් දුන්නද? ඔයා කතා කළේ නෑ…”

වාහනය ගෙමිදුලේ නතර කරත්ම නිරංජලා දිව ආවාය. සුජාන් ඇයට පිළිතුරු දුන්නේ නැත.

"කියන්නකෝ මොනවද වුණේ...? පුතා කෝ….?

"මම නාගෙන ඇවිත් කියන්නම් ....තුවාය ගෙනැත් දෙන්න..."

එහෙත්, සුජාන් අතට තුවාය ලැබුණේ, සියල්ලක් ඔහුගෙන් විමසා දැනගත් පසුවය.

බිරිඳ සහ ඇගේ සොහොයුරිය දිගින් දිගටම අසන ප්‍රශ්නවලට පිළිතුරු නොදී, සුජාන් නාන කාමරයට රිංගා ගත්තේය.

මගේ ගෑණිගෙන් බේරෙන්න පුළුවන් එයාගේ අක්කාගෙන් බේරෙන්න තමා බැරි..... කවදත් නිරංජලාගේ කතාවලට රැප් කරන එකනෙ කරන්නේ ... අර සින්දුවලට රැප් කරනවා වගේ... දැන් මරණ බයට රැප් කරන එක වැඩි වෙලා ....

"මම දිගින් දිගටම කෝල් දීලා පුතාට ගෙදර එන්න කියපු නිසා පුතා දැන් ෆෝන් එක ආන්සර් කරන්නේ නෑ ....."

සුජාන් නිවසේ යන්නේ කොතැනටද බිරිඳ ද එතැනට පැමිණ මොන මොනවහෝ කියවයි.

“අපි දන්නේ නෑනේ ඔයාගේ තාත්තයි, මල්ලියි අතර ඔහොම සම්බන්ධයක් තියෙනවා කියලා ...අම්මා ඉන්නකොට ආව ගියෙත් නැහැනේ... අම්මා හැමතිස්සෙම කිව්වේ මල්ලිගෙ වයිෆ්ගෙ පැත්තේ අයව මහ ගෙදර පැත්ත පළාතෙ එන්න දෙන්න එපා කියලා ...චණ්ඩි ...කුඩු කාරයෝ ඉන්නේ... මහ ගෙදර දැක්කොත් ඉල්ලාවි කියලා....”

හැමදේම කියවනවා... අහනවා… මල්ලිගේ වයිෆ් කෑම එවනවා කියපු එකට හ්ම් සද්දයක් නැහැ.... අපිත් මාරුවෙන් මාරුවට කෑම අරිමු නේද වගේ දෙයක් නම් දෙන්නගෙම කටින් පිටවෙන්නේ නෑ ....සුජාන් දෑස් වසාගෙන නොනිදා කල්පනා කළේය .

"අපේ කොල්ලව බිල්ලට දෙනවා වගේ වැඩක් මේක..."

හෙමිහිට මුමුණමින් මෙන් නිරංජලාගෙ අක්කා පැවැසුවද එය සුජාන්ගේ කණ වැකිණි.

මෙතෙක් නිහඬව සිටි ඔහු මහ හඬින් කෑගසන්නට පටන් ගත්තේ අනතුරුවය.

“මොකද අනේ මේ කෑ ගහන්නේ?"

 "අක්කා පුතාට තියෙන ආදරයටනෙ එහෙම කිව්වෙ .... අහල පහල අයටත් ඇහෙනවා ....ඔයාගේ කෑගැහිල්ල නවත්තන්නකෝ ...”

“තාත්තා එක්ක ඉන්න පුතා ගියේ පොඩිකාලේ ඉඳලම සීයාට තිබුණ ආදරේ නිසා .... අනික එයා කටුබැද්දෙ කැම්පස් සිලෙක්ට් වුණාට පස්සේ එහෙ ඉඳං යන්න ලේසි නිසා, නිදහසේ පාඩම් කරන්න පුළුවන් නිසා ...මේ ගෙදර ඉන්නෙ රේඩියෝ ගිලපු අයනෙ ...කරච්චලේ පාඩමක් කරන්න පුළුවන්ද? එත් ඔයාලා පුතාව සීයාට කිට්ටු කළේ මොකටද කියලා ඉතිං මම කියන්න ඕන නැහැනෙ ... එත් අන්තිමට තාත්තට කන්න ටික හරි ගෙනත් දෙන්නෙ ඒ මිනිස්සු… ..මටත් ලැජ්ජයි මම ගැනම…”

සුජාන් කෑ ගැසීම මඳකට නවත්වා ඇස් කොනින් බිරිඳ දෙස බැලුවේය. නිරංජලා ඉද්ද ගැහුවා සේ දොරළඟ සිටගෙන සිටී. ඇගේ දෑස ලොවිගෙඩි සේ රතු පාටය.

මම, මගේ මානසික ආතතිය අඩු කරගන්නද මෙහෙම කෑගහන්නේ ... හැම දේකටම අඩු නැතුව මාත් වගකියන්න ඕන ..... සුජාන්ගේ හිත ඔහුටම කතා කර රතු ලයිට් පෙන්නුම් කළේය. ඔහු නිහඬ විය. බිරිඳ කාමරයෙන් එළියට පිය මැන්නාය.

එදින සුජාන්ට ද නින්ද ගියේ රෑ මැදියමේය. සුළු මොහොතකින් බිරිඳගේ හඬින් ඔහු තිගැස්සී ඇහැරුනි.

“ෆෝන් එක දෙසැරයක්ම වැදිලා. අපිට ඇහිල නෑ .... චුට්ටා කතා කරන්නේ”

“තාත්තාට අමාරු වුණා.. මම ඇම්බියුලන්ස්‌ එක පිටිපස්සෙන් යන්නේ…” මල්ලි කිව්වේ එචචරයි. කෝල් එක කට් වුණා.

සුජාන් ඇඳෙන් නැගිට්ටා නෙමේ පැන්නා.... නිරංජලා මුකුත් ඇහුවෙ නෑ. ඇස් අයාගෙන සුජාන් දිහා බලා . සිටියා.

සුජාන් නිහඬව, ඒත් ලහි ලහියේ ඇඳුමක් දාගත්තා.

"තාත්තාට අමාරුවෙලා ...ඉස්පිරිතාලෙට ගෙනියනවා ....."

හරියටම ඒක කියලා ඉවරකරන්න ලැබුණේ නෑ. තව කෝල් එකක් අවා.

"…ගෙනිහින් වැඩක් නෑ...." චුට්ටා පොඩි දරුවෙක් වගේ කෑ ගහලා ඇඬුවා.

අවසන් කටයුතු සිදු වුණේ බොහෝම සරලව. දේහය කනත්තට ගෙන ඒමටත්, ඉහළට එසැවී තිබුණු බටයෙන් දුම් රැලි පිටවීමටත් ගත වූයේ සුළු වේලාවකි.

ජීවිතය මෙතරම්ම දුක්ඛදායක දෙයක්දැයි සුජාන්ට සිතුණේය. ඔහුත් බිරිඳත් අසල සිටියේ පුතා සහ සිය සොහොයුරා පමණක් වුවද සෑහෙන පිරිසක් කනත්තේ දැල් වැටට එහා පැත්තේ සිටිනු ඔහු දුටුවේය. ඒ මල්ලිගෙ බිරිඳගේ පැත්තෙන් පැමිණි පිරිසයි.

“අපේ කනගාටුව සර්.”

කනත්තේ ගේට්ටුව අසලදී සුදු සරමක් සහ ටීෂර්ට් එකක් ඇඳගත් මැදි වියේ අයෙක් ඉදිරියට පැමිණ සුජාන්ට ආචාර කළේය.

“මාලා අක්කාගේ අයියා”

අසල සිටි පුතා, පියාට සෙමින් මිමුණුවේය.

“බොහෝම ස්තුතියි ආවට….”

මඳක් නිහඬව සිටි ඔහු යළි කතා කළේය.

“අයියෝ මේවා අපි මෙහෙම නෙමෙයි කරන්නෙ සර්.. රටේ තත්ත්වෙ හොඳට තිබුණ නම්.... නංගි ආවෙ නැත්තේ මළ බත උයනවා. හරියට සිරිත් විරිත් කරන්න බැරි වෙච්චි එකේ බත් පැකට් ටිකක් බැඳලා බෙදන්න හිතුවා. හත් දවසටත් මොනවා හරි කරන්න ඕන.”

සුජාන් දිගු සුසුමක් පිටකරනු නිරංජලා දුටුවාය. හත් දවසට අපිත් මොනවා හරි කරන්න ඕන, සුජාන්ගේ හිත හදන්නත් එක්ක… නිවෙසට එන්නට වාහනයට නඟින අතරේ ඈ සිතුවාය.

පුතා යළි නිවෙසට පැමිණියේ දවස් දාහතරක නිරෝධායන කාලයෙන් අනතුරුවය. විශ්ව විද්‍යාලයේ විභාග දින නියමයක් නැතිව කල් ගොසින් තිබිණි.

පුතාට මවගේ සහ ලොකුඅම්මාගේ ප්‍රශ්න වලට උත්තර සපයනවා මිස වෙන වැඩක් කිරීමට ඉඩක් නැති තරම්ය.

ඉස්සරහ කාමරයේ සිට කාර්යාලයේ වැඩවල නිරත සුජාන්ට ගෙයි සාලයේ සිට ඔවුන් කරන කතා කඩින් කඩ ඇසේ. සමහරක් කතා සුජාන්ගේ මුවේ සිනහවක් මතු කරයි. කොල්ලා දන්නෙ නෑ අම්මගෙයි ලොකුඅම්මගෙයි තොරතුරු සොයන අරමුණ...

“චුටි බාප්පා නිතර එහේ ආවා ගියාද...? ආච්චි ඉන්නකොට ආවෙ ඉඳලා හිටලනෙ...”

“චුටි බාප්පාට හැමතිස්සෙම කෝල් කර කර එන්න කියන්නෙ සීයා....”

“එයාගෙ නෝනත් එනව යනවා ඇති එහෙනම්”

“නැන්දා ආවෙ එක සැරයයි… හැබැයි සීයට කෑම හදල මාමා අතේ එවනවා..”

“නැන්දා කියන්නෙ එයාලට ඒ පරිසරේ හරියන්නෙ නෑ කියලා…”

“කොහෙද සුජාන්ට ඔෆීස් වැඩනෙ හැමතිස්සෙම... ගියත් යන්නෙ ඔෆිස් ඉවරවෙලා ගෙදර එනගමන්නේ.. මට ඉතිං යන්න වෙන්නෙ නෑ ....”

“අම්මා ඒ ගැන හිතන්න එපා... මම සීයා එක්ක හිටියනෙ... එත් සීයා තමා මට සැලකුවෙ... අපි කුප්පි දානකොට සීයා තමා තේ හදලා දෙන්නේ..”

“මොකද්ද කුප්පි දානවා කියන්නේ ...”.

“අපි යාළුවෝ එකතු වෙලා පාඩම් කරනවනෙ… යාළුවන්ටත් හරි දුකයි සීයා ගැන....”

“මොකද්ද අර පුංචි, චුට්ටගෙ නෝන කිව්වයි කියන්නේ? එයාලට ඒ පරිසරේ හරියන්නෙ නෑ කියලා.... ඒ මොකද…?”

“අම්මේ ලොකු අම්මටත් ඕන්නැති දෙයක් නෑ... පුංචිලා ඉන්න පරිසරය හරි කලබලයි…. ගොඩක් දෙනා ගැවසෙනවනෙ ...අනික එයාලගෙ පවුල් වල අය එකළඟ ඉන්නෙ…”

“මම චුටි බාප්පාට කිව්වෙ කවදා හරි එයාට ඇවිත් ඒ ගෙදර පදිංචි වෙන්න කියලා… සීයාත් කිව්වා…”

“මොකද්ද මොකද්ද… ඒ කතාව?.... ඒවා ලොකු අය ගන්න ඕන තීරණනෙ.... ඔයා මොකටද ඕවා කියන්න ගියේ…?”

දෙදෙනාගේ කටහඬේ රිද්මය සැණෙන් වෙනස් වි ගොසින්ය.

“…දැන් මෙතැන පවුලේ ලොකු පුතාට කිසි තත්ත්වයක් නෑනෙ.... ඔක්කොම කතා එයාලා… යෝජනා තීරණ ඔක්කොම එයාලා….”

“ඉතිං අම්මේ මෙතන තියෙන්නෙ එක පාර්ශ්වයක් කිසිම දෙයක් එපා කියන ප්‍රශන්යනේ ....”

නිරංජලා සහ සොහොයුරිය අතර අනතුරුව ඇති වූ කතාබහ සුජාන්ට හරිහැටි ඇසුණේ නැත.

“බලාගෙන ගියාම චුට්ටා බැඳපු පවූලෙ අය එහෙමකට නරක මිනිස්සු නෙමෙයි වගේ...” අක්කාගේ කීම නිරංජලා ඔළුව වනමින් අනුමත කළාය. එය සුජාන්ට පෙනුණේ නැත. .

මෙච්චර දේවල් ඇස් පනාපිට සිද්ධවෙන කාලේ අනිත් අය ඒ ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැති හැටි.....

සුජාන්ගේ මුවින් දිගු සුසුමක් පිටවිය. කාමරයෙන් පිටතට ආ සුජාන් බිරිඳ දෙස නොබලා මිදුල දෙසට පියමන් කළේය.

Nissanka Rajapaksa

unread,
May 18, 2024, 8:07:11 PMMay 18
to INDRAKA group

47

නිස්සරණ පින්බිම

ස්වර්ණා කාන්ති පෙරේරා


 රෝගියා පරික්ෂා කර බැලූ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා මුහුණ මත ගැඹුරු පෙනුමක් ආරූඪ කර ගනිමින් මෙසේ කියයි. “දකුණු ඇහැ උත්පත්තියෙන්ම අන්ධභාවයට පත්වෙලා. පුංචි කාලෙ විහිළුවටවත්, සෙල්ලමටවත් එක ඇහැක් වහල අනිත් ඇහෙන් බැලුවෙ නැද්ද?“

ඈ වෛද්‍යවරයාගේ ප්‍රශ්නය හමුවේ නිරුත්තරය.

“කමක් නැහැ. වම් ඇහැත් හොඳටම දුර්වලයි. ශල්‍යකර්මයක් කරලා කාචයක් දැම්මත් ෂුවර් නැහැ. වයස ගැන හිතනකොට එතනත් පොඩි අවදානමක් තියනව.

“එතකොට මෙච්චර කල් මේ සුමේ කොරළා තියෙන්නෙ එක ඇහැකින්. ඒකත් නරක නැහැ“

“මොනවද ඔය ව්‍යංගාර්ථයෙන් කියන්නෙ?“

“නාකි මිනිස්සු කට කහනවට කියන ඒව ගණං ගන්ඩ එපා ඩොක්ටර්“

“තනියමද ආවෙ?“

“මගේ හොඳම යෙහෙළිය සමඟ“

“එයාව ඇතුළට කැඳවන්ඩ. මට යමක් කියන්ඩ තියනව.“

“හුදෙකලාව තමා මගේ හොඳම යෙහෙළිය ඩොක්ටර්“

“පණ්ඩිතයි හොඳටෝම“

“ඒක උපන් ගෙයි වරදක්. අතට පයට උදව් කරන්ට අය හිටිය නම් මට මෙච්චර දේවල් කරන්ට බැරි වෙනව“

“මෙච්චර දේවල් කිව්වෙ“

“ඩොක්ටර් තව සැරයක් මගේ ටිකට් එක හොඳින් බලන්ඩ“

ඔහු එවර පැලඳ හුන් උපැස් යුවළට යටින් එදෙස බලයි. එහෙත් විශේෂත්වයක් නොදකී.

“කිව්වට තරහ ගන්ඩ එපා. සාමාන්‍ය දැනීම අතින් ඩොක්ටර් අන්තිමයි“

“බොලිවුඩ්, හොලිවුඩ් සම්මාන, ෆිල්ම්ෆෙයා සම්මාන, රණ මයුර සම්මාන ලැබිල තියනව වගේ කතාව. වයසට යනකොට ගෑනු මිනිස්සු මුරණ්ඩුයි. මහන්තත්තයි. මම ඒක අත්දැකීමෙන් දන්නව“

“අවුරුදු අසූපහක් කියන්නෙ ඒ හැටි වයසක්ද? කෙනෙකුගෙ ජීවිතේ අවුරුදු හැටක් හැත්තෑවත් අතර කාලය අමුතුම විදිහෙ තරුණ කාලයක් කියල මම දැක්ක සමාජ මාධ්‍යවල පෝස්ටුවක්. මනෝ විද්‍යාඥයින් ඒ බව තහවුරු කරල තියනව කියල මම ඊට කලින් දැන හිටිය. ඩොක්ටර් මම රෑ මැදියම පහුවන තුරුත් නොයෙක් දේවල් සොයමින් නොයෙක් තැන්වල සැරිසරනව“

“කොහෙද අප්පේ ඔයහැටි සැරිසරන්නෙ“

“සයිබර් අවකාසෙ. මුහුණු පොතේ මට මිතුරු මිතුරියො පන්දහසකට වැඩිය ඉන්නව. නූගත් අඩු වයසෙ තරුණයො ගුඩ් මෝනිං, ගුඩ් නයිට්, කෑවද, බිව්වද, මොනවද ඔයාගෙ විස්තර කියල අහල මැසේජ් එවනව. හික්... හික්...“

“වෙලාව ගතවෙනව. තව හුඟක් ලෙඩ්ඩු ඉන්නව. ඔපරේෂන් එකට කැමතිනං හරියටම තව සති දෙකකින් අඩුම කුඩුම අරගෙන ඇවිත් වාට්ටුවට ඇතුල් වෙන්ඩ“

ට්‍රීං... ට්‍රීං.... ට්‍රීං.....

වෛද්‍යවරයා යුහුසුලුව ඊළඟ රෝගියා කැඳවූයේ තමා අසල හුන් හෙදියට ඇසක් ඉඟි මරමිනි.

“පව්... පිස්සු ගැහැනියක්“

හෙදිය සිහින් හඬින් කොඳුරයි.

ඔසරි පොට වදයක් සේ හැඟුනු කල ඈ එය ගෙල වටා දවටා ගත්තාය. කළු පැහැති දිග පඩි පෙළෙහි සියලු පඩි ඇයට පෙනුණේ එකම එක පළල් පඩියක් ලෙසිනි. හිත් හෝදිසියට ඉතා අසීරුවෙන් එකිනෙක පඩිය තෝරා දෙපා තබද්දි කිහිප විටක් එහා මෙහා ලිස්සා ගොස් නොවැටී බේරුනේ අනූනවයෙනි. ඒ දුටු එක් පිරිසිදු කරන්නියක් ඇගේ අතක් ගෙන සීරුවෙන් පහළට බැස්සවිය.

ත්‍රිරෝද රථ ගාලට ළඟාවෙද්දි එහි හුන්නෝ හුරුවම් බාන්නටත් ගී ඛණ්ඩ මුමුණන්නටත් පටන් ගත්හ. වයසක ගැහැනු මිනිසුන්ගෙ ගතිය කේවල් පිට කේවල් කර ඊට ගොඩවීම ඒ තත්වයට හේතුව වන්නට ඇත. එක් අයෙක් හෝ මහලු කාන්තාව මායිම් නොකළා සේය. එහෙත් ඊළඟ වාරය හිමි ත්‍රිරෝද රථයේ කොලුවා නොසැලකිල්ලෙන් මෙන් ඇය දෙස බලා රථය ක්‍රියාත්මක කළේය. වකුටු කොන්ද විටින් විට ඍජු කර ගනිමින් ඇය ආයාසයෙන් රථයට ගොඩවිය. ගමන සඳහා වූ කුලිය ගැන තැකීමක් නොකළ හෙයින් රියැදුරු කොලුවා මහලු කාන්තාව කෙරෙහි තෘප්තිමත් විය. රථය ගමන් කරන වේගයට සාපේක්ෂව මීටරය ක්‍රියාත්මක වෙද්දි ඒ දෙස බලා හුන් මහලු මිනිසෙකුගේ හෘද ස්පන්දනය වැඩිවී සිදුවූ කලබැගෑනිය මේ මොහොතේ ඔහුගේ සිතට ගොඩවිය. මිනිසා රෝහල්ගත කොට හිස් අතින්ම ඒමට ඔහුට සිදුවිය.

“ආච්චි අම්මෙ කොහෙටද“

“දකුණු පැත්තට. කඟවේනා වගේ කඩා බිඳගෙන යන්නෙ නැතුව ටිකක් හිමිහිට. සුපර් මාකට් එක ළඟින් තියන පාරෙ බුදු පිළිමෙට ටිකක් එහා“

සෙමෙන් යෑමට අණ දුන්නොත් දෙන්නේ බඩදරු මවකි. එහෙත් ගතින් දුර්වල වූ මැහැල්ල සිතේ බය නිසා පැවසුවා විය හැකි යයි රියදුරු කොලුවා සිතයි. මට හිතෙනව පරංගියා කෝට්ටෙ ගියා වගේ මෙයාව හොඳ වටරවුමක් අරගෙන යන්ඩ. එසේ සිතා වංගුවක් ගනිද්දී ඇය හුන් අසුනින් ඉදිරියට නැමී රියැදුරු කොලුවාගේ ගෙල පෙදෙස වේගයෙන් අතකින් අල්ලා තද කරන්නට වූවාය. ඒ අතර ඔහු වේගයෙන් තිරිංග තද කළේය.

ස්ක්‍රීස්... බ්රූස්.... බ්රූස්....

“හොල්මන් අවතාරයක්ද? එහෙම නැතිනම් මායාවක්ද? ඇයි මගේ බෙල්ල මිරිකුවෙ“

“එහෙමනං මගෙ නමත් දන්නව“

“නම.... මොකක්ද ඒ කතාවෙ තේරුම“

ඇය කතාව වෙනත් අතකට හැරවීය.

“ඇස් වහගෙන වුණත් මට මේ පාරවල්වල යන්ඩ පුරුදුයි. මගේ ඇස් වලට වැලි ගහන්ඩ බැහැ පුතෝ“

මහලු කාන්තාව තවත් මොනවාදෝ කියවයි. රියදුරු කොලුවා හට සියල්ල විහිළුය. ඔහු එවර හැටට පාගයි.

“පටන් ගත්තු සමහර වැඩ එහෙමමයි. මාව මරන්ඩ හදනවද? ඔය ඉස්සරහ කළුපාට යකඩ ගේට්ටුව ළඟ නතර කරන්ඩ.“

ස්ක්‍රීස්... බ්රූස්... බ්රූස්...

“පටන් ගත්තු වැඩ කොහොම වුණත් ආයි අලුතින් වැඩ පටන් ගන්ඩ එපා. ඒව ඉවර කරන්ඩ බැරිවෙයි“

“ලෝක ධර්මය ගැන මට අමුතුවෙන් උගන්වන්ඩ ඕනෙ නැහැ. ඒ දවස, ඒ මොහොත වෙනකල්ම වැඩ කරන එකේ වරදක් නැහැ. කාලය රන් හා සමාන බව තේරෙන්නෙ දැං දං. කීයද හයර් එක“

“දෙසීයයි“

නහර ඉල්පුනු දෑත් වෙවුලද්දි රියැදුරු කොලුවා මුදල් නෝට්ටු දෙක තමා අතින් ගත්තා නොව ඩැහැ ගත්තා යැයි ඇයට සිතුණාය. ඒ අතර කළුගල් තාප්පයේ මඳක් ඇතුළට ඔබ්බවා රන්වන් පැහැ ගත් පසුබිමේ ලියන ලද කළු පාට අකුරු අතර රියැදුරු කොලුවාගේ නොඉවසිල්ල මොහොතකට නතර විය.

මායා දෙල්විට

සිංහගිරි නිවස

“මැඩම් මම යනව. මට සමාවෙන්ඩ.“

“සමාවෙන්ඩ. ඒ ඇයි?“

“මම මැඩම් ඉදිරියෙ හැසිරුණු විදිහ හොඳ නැහැ. ඒත් ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දගන්ඩ බැහැ. ප්‍රසිද්ධ කෙනෙක් වගේ. මගේ දරුවගෙ පෙළ පොතේ පාඩමක් තිබුණා මතකයි.“

“සාමාන්‍ය දැනීම හොඳයි වගේ අර දොස්තර මහත්තයට වඩා“

“මොනවද මැඩම් කුටු කුටු ගාන්නෙ. මට බණිනවද?“

“නැහැ මුකුත් නැහැ“

“ආයි මට මැඩම්ව හම්බවෙන්ඩ වුවමනා වුණොත්?“

ඈ සිය ගමන් මල්ලෙන් කුඩා සටහන් පොතක් හා පෑනක් පිටතට ගෙන සටහන් පොතේ පිටු භාගයක් ඉරා වෙන්කොට ඒ මත යමක් ලියා කොළ කැබැල්ල රියදුරු කොලුවා අත තබමින් මෙසේ කීවාය.

“මේ ලිපිනය අදාළ වෙන්නෙ හෙට දිනයට. ඒ කියන්නෙ අනාගතයට.“

“පදිංචිය වෙනස් කරන්ටද කල්පනාව. අපරාදෙ මෙච්චර හොඳ තැනක් දාලා.“

එවර ඈ දුන් සිනහව හැඬුමකට ද වඩා මූසල එකක් යැයි රියැදුරු කොලුවට සිතුණි. ත්‍රිරෝද රථය වටයක් කරකැවී දුහුවිලි අවුස්සා ඈත මාවතේ නොපෙනී යන අයුරු ඈ බලා සිටියේ තුෂ්නිම්භූතවය.

පෙසන් කුරුල්ලෝ කූඩුව තුළ කෑමොර දෙමින් යකා නටනු පෙනේ. කූඩුවට පහළින් වූ බජිරි පැකට්ටුවෙන් මිටක් ගෙන කූඩුව තුළ වූ බඳුනට දමද්දී උන්ගේ කෑමොර දීම හොරු රැගෙන ගියාක් මෙනි. අධික කුසගින්න හෙයින් එකිනෙකා ඇනකොටා ගත් බව හැඟවීමට මෙන් කහ, කොළ, නිල් කුරුලු පිහාටු කූඩුවෙ තැනින් තැන විසිරී ඇත. ඇය ඕනවට එපාවට මෙන් ඒ දෙස බලමින් ඉබි යතුරු කරකවා ගෙට ගොඩවේ.

තද අව් රශ්මියට නිරාවරණයව හිඳ නිවසට ඇතුළු වීමේදී තද කළුවරක් ඒ තුළ දර්ශනය වේ. මඳ වේලාවක් යාමේදි එය පහව යයි. උරහිසේ වූ ගමන් මල්ල නොසැලකිල්ලෙන් මෙන් පසෙකට දමා දහඩිය බේරෙන ඇඳුම් පිටින්ම සෝපාව මත දිගාවිය. පරණ වීදුරු අල්මාරියේ වූ නොයෙක් හැඩ තල වලින් යුත් සම්මාන තමාට ඔච්චම් කරන කුඩා දරුවන් පිරිසක් වැනි යැයි ඇයට හැඟේ. ඒ අතර සම්මාන උත්සවයක අමතක නොවන සිදුවීමක් ද මතකයට නැඟේ.

එදින සම්මාන උත්සවය නිමා වූයේ මැදියම් රාත්‍රිය ආසන්නයේය. වාහනයක් වෙනුවෙන් කල් මරා බැරිම තැන නිවස තෙක් දෙපයින් මඟ ගෙවීමට සිදුවිය. විදුලි කප්පාදු සමයකි. මහ කනත්තේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසල මිනිසෙකි. සමහරවිට ඒ මුරකරුවා විය හැක. සුදු ඇඳුමින් සැරසී සම්මානය දෑතින් ගෙන පපුවට තුරුලු කොට අඩ අඳුරේ පිය මනින කාන්තාව ඔහුට ආසන්න වෙත්ම හේ යටි ගිරියෙන් කෑගැසුවේය.

“බුදු අම්මෝ... මෝහිනීගෙ අවතාරෙ“

මිනිසා සිතන්නට ඇත්තේ සුදු වතින් සැරසී දරුවෙක් තුරුලු කොටගෙන තමා දෙසට එන්නේ මෝහිනියගේ අවතාරය බවය. ඒ සිද්ධිය සිහිවීමත් සමඟ ඇයට “බකස්“ හඬින් සිනා ගියාය.

අවමඟුලක් සඳහා මහ කනත්තට ගිය දිනය ද ඇයට සැබෑ සුන්දර අත්දැකීමකි. එතැන මළවුන්ගේ එකම මාෆියාවකි. ජනප්‍රිය, ප්‍රසිද්ධ, ධන කුවේර සැවොම එතැනය. ආශ්වාස ප්‍රාශ්වාසය නැවතී සියලු සමාජ ප්‍රපංචයන්ගෙන් බැහැර වූ සොඳුරු කලාකරුවන් නිසාදෝ එබිම එකම වින්දනීය අඩවියක් යැයි ඇයට හැඟුනි. ඈ කාලයක් ගෙන තැන තැන ලියා තිබූ දෑ කියවන්නට වූවාය. ඒ අතරින් වඩාත්ම ඇගේ සිත් ගත් වැකිය වූයේ

“සෑම දෙයකම සුන්දරත්වයක් ඇත. හැමෝම එය නොදනී.“

ඈ කිහිප වරක් එම වැකිය තොල් අතරින් මිමිනුවාය.

සෝපාව මත වැතිර සිතිවිලි අතර කිමිදෙමින් සිටියදී දුරකථනය නාද වේ.

“ඔබතුමිය සතිපතා පුවත්පතට ලිව්ව නවකතාව අපි හිතුවට වඩා හොඳට ප්‍රමෝට් වුණා. තරුණ පරපුර ඒකට වහවැටිලා. අනිවාර්යයෙන් දෙවෙනි කොටසක් ඉල්ලනවා. මේ වෙනකොට දෙවෙනි කොටස ලියාගන යනව කිව්වනෙ. පුළුවන් ඉක්මණින් වැඩේ ඉවර කළොත් හොඳයි“

සතිපතා පුවත්පතේ විශේෂාංග කතුවරයා එපමණක් කියා නිහඬ වේ.

“කිව්වට විශ්වාස කරන එකක් නැහැ. දවසට දෙකට මගේ ඇස් පෙනීම දුර්වල වුණා. දැලක් එළුවා වගේ හැම දෙයක්ම බොඳවෙලා පේන්නෙ. අයි සර්ජන් මුණගැහිල ආවා විතරයි. සර්ජරියක් කළත් ෂුවර් නැහැ කිව්ව“

“අයිසේ මාර වැඩේ. අපි එහෙම වුණොත් ලියන්නෙක් ගැන හිතල බලමු. මැඩම් කියන දේ එයා පරිගණකයෙන් ලියාවි“

“හරි එහෙනං“

ඇය එහා කෙළවරින් තවත් යමක් පවසන්නට මත්තෙන් රිසිවරය නියම තැන ස්ථානගත කළාය. එසේ කොට යළි සෝපාව මත දික් අතට වැතිර ඇලයකට හැරී කල්පනාවේ ගැඹුරට කිමිදෙන්නට විය.

පත්තරකාරයො ටික මගේ අතීත අනන්‍යතාවය සහමුලින්ම විනාශ කළාද. කුමක් හෝ ළාමක ක්‍රීඩාවකට ඒ අය මාව ඉත්තෙක් විදියට යොදාගෙනද කියල දැං දැං මට සැකයි. දවසින් දවස මගේ සවිඤ්ඤාණික බව නැති වෙනවද? කවුරු හරි ඒක බලෙන් නැති කරනවද? එසේ නැතිනම් මගේ හුදෙකලා ජීවිතය යම්තාක් දුරට මාව මේ තත්ත්වයට පත්කිරීමට අතිරේක සාධකයන් වුණාද? පවතින සවිඤ්ඤාණික බව නමුත් පිරිසක් ඒ අයගෙ ආත්මාර්ථකාමී අරමුණු, අභිමතාර්ථ මුඳුන් පමුණුවා ගැනීම වෙනුවෙන් මටත් හොරා රහසේම තමන්ගේ දිශාවට නවාගෙනද? භද්‍ර යෞවනයේදී මහත්වූ ව්‍යායාම් දරා වුවද ලියාගත නුහුනු අතිශය බොලඳ ප්‍රේම කතා නහින දෙහින කාලයේ කජු කනවා තරම් පහසුවෙන් ලියවෙන්නේ කවුරුන් විසින් හෝ සිදුකළ ඒ සවිඤ්ඤාණික නවාගැනීම නිසාද? සිතිවිලි වක්කඩ කැඩුවා සේ ගලා ඒ.

ට්‍රීං.... ට්‍රීං.... ට්‍රීං.....

ඈ එවර රිසීවරය අතට ගත්තේ නොකැමැත්තෙනි.

“විශේෂාංග කර්තෘතුමා මට විස්තරේ කිව්වා. සිංහල ගෞරව උපාධිය සමත් තරුණයෙක් සහායක ලියන්නෙක් විදියට පත්කර ගන්ඩ අකමැති වෙන එකක් නැහැනෙ. නවකතාවෙ දෙවෙනි කොටස අපට අනිවාර්යයෙන් අවශ්‍යයි. මුල් කොටස දැනටමත් ටෙලි නාට්‍යයකට ඉල්ලනව අධ්‍යක්ෂවරයෙක්. තිර රචනය ලිවීමත් ඔබතුමියට පවරන්ට ඔහු කැමැත්තෙන් ඉන්නව.

ඇය තත්පර කිහිපයක් නිහඬව සිටියාය.

“මැඩම්..... වැඩේට අකමැතිද?“

“ස්වාමිපුරුෂයෙක්, දරු මල්ලෙක් නැති නිසා මම අනන්‍යතාවයක් නැති ගැහැනියක් කියලනෙ හිතාගෙන ඉන්නෙ. කාපිරි වහලියන් හිරු නොබසින අධිරාජ්‍යවල වැඩට ගන්නෙ ඔවුන්ගෙ සියලු අනන්‍යතාවයන් බිඳල. මම කැමති නැහැ එහෙම වෙන්න.“

“ඔබතුමිය එක්තරා පුවත්පත් සාකච්ඡාවකදි පැවසූ දෙයක් මට මේ මොහොතේ මතක් වෙනව. සරසවිය හා බැඳුනු ඔබේ ප්‍රථම ප්‍රේමයේ ප්‍රේමවන්තයා ඒ අවදියේම මියගිය බවත් ඔහුගේ භූතාත්මය මෑතක සිට ඔබ වටා සැරිසරන හෙයින් යහපත් නිර්මාණයක් සඳහා සිත එකඟ කරගැනීම අසීරු බවත් කියා සිටියා. එදා එම පුවත්පතෙහි පළවී තිබුණු ඔබේ මුහුණෙහි අඳුරු මූසල අද්භූතජනක පෙනුම මේ වන විට සෑහෙන දුරට පහව ගොසින් බව අප දුටුවා. එම යහපත් වෙනස සිදු වුණේ අපේ පුවත්පතට ආදර කතාව ලිවීම ඇරඹුවායින් පසුව බව මට හොඳටම විශ්වාසයි. අපි හිතුව ඒ ගැන ඔබ අපේ පුවත්පතට ස්තූතිවන්ත වෙයි කියල. ඔවැනි කතාවක් කොහෙත්ම බලාපොරොත්තු වුණේ නැහැ.“

“කිසිඳු අනන්‍යතාවයක් නැති තත්ත්වයට පත්වුණු අයෙකු හට ඔබ අර මුලින් කී තත්ව ඇතිවීම ස්වභාවිකයි. අදටත් එවැනි තත්ව අඩු වැඩි වශයෙන් සවිඤ්ඤාණකව හා අවිඤ්ඤාණකව මට දැනෙමින් පවතිනවා. කිසිවකට ආශාවක් නැතිව හුන් ගැහැනියකගේ හිත පට්ට පල් බොළඳ පෙම් කතාවකට පටලවා ගත් එකත් ලොකු දෙයක්. හොඳ හැඟීම් විශාල වශයෙන් අඩුවේගන යන කාලයක්. ඉදිරියේදි සමහරවිට ඒවා නැත්තටම නැතිවී යාවි. කතාවෙ දෙවෙනි කොටස ගැන බලාපොරොත්තු අත්හරින්න එපා. මේ වනවිටත් මා ඉන් අඩක් ලියා අවසන්“

“මොනවා.... එසේනම් මොහොතකට කලින් ඔබ මට පොඩි විහිළුවක් සැපයුවා පමණයි“

“හරියටම තව දෙසතියකින් මා රෝහල්ගත විය යුතුයි. ඒ අතරතුර ගතවන මුල් සතිය නවකතාවේ දෙවෙනි කොටස සම්පූර්ණ කිරීම වෙනුවෙන්. ඊළඟ සතිය පාසැල් දරුවන්ගේ පෙළපොත් සඳහා වූ විශේෂ කටයුත්තක් වෙනුවෙන්. දින පොතේ සටහන් වී ඇති දහසකුත් එකක් ඉදිරි වැඩ කටයුතු කාලය මට ලබාදෙන ඉඩ හසර අනුව සිදුවේ.“

“බොහොම ස්තුතියි මැඩම්. හෙට උදෙන්ම ලියන්නෙක් එවනවා. කෑම, බීම හැමදෙයක්ම අපි බලාගන්නවා“

මුස්ලිම් ජාතික තරුණ ලියන්නා රෂාන් උදෑසන සිහිල් වේලේම ඇගේ නිවසට පැමිණියේය. අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා හමුවීමෙන් පසුව ගතවූ දින දෙක තුනක කාලය අතරතුර ඇගේ ඇස් පෙනීම වඩ වඩාත් දුර්වල වූ හෙයින් ලියන්නාගේ රූප කායෙහි කැපී පෙනෙන සුලු කිසිවක් ඇය නුදුටුවාය. එම අවස්ථාවේම දෑසේ දැවිල්ලක්ද හට ගත්තේය.

ලියන මේසය අසල මුහුණට මුහුණ ලා පිහිටි අසුන් දෙක මත දෙදෙන වාඩිවී හිඳී. ඈ දෑස් තදින් පියා සිහින් හඬින් කථනය කරද්දී ඔහු ඒ සියල්ල ඇඟිලි තුඩින් යුහුසුලුව පරිගණක ගත කරයි. විටෙක ඇගේ මුවින් පිටවන වදන් ඔහු පුදුමයට පත්කරයි. ඔහු සිනහ ගන්වයි. විටෙක ලජ්ජා උපදවයි. ඒ අතර පරිගණක යන්ත්‍රයේ යතුරු පුවරුව අක්‍රීය වන බව ඇයට දැනේ. ඈ ආයාසයෙන් දෑස් විවර කරයි.

“රෂාන්....“

ඔහු මුහුණ බිමට නැඹුරු කොටගෙන හිඳී.

“ලැජ්ජා හිතුණද ඒ දෙබස් ඛණ්ඩිය අහලා. රෂාන් මම ශෘංගාරයත් එක්ක ලස්සනට මහලු වුණු කෙනෙක්. හැමෝටම ඒ වාසනාව නැහැ. මට ඒ වාසනාව ලැබුණේ සරසවියේම ඉපිද මැරී ගිය මගේ ප්‍රථම ප්‍රේමය අදටත් මා අත්නොහැර සිටින නිසා. එදා මෙදා තුර මට ඇති එකම අනන්‍යතාවය එපමණයි රෂාන්“

“ඒත්.... මැඩම් සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ....“

“එපා නවත්තන්ඩ. මම දන්නව කියන්ට හදන දේ. ලෝකය මට ලබාදුන් අනන්‍යතා මත පිහිටා “මම මෙවැනි අයෙක්“ කියන මානසික සිරකුටියේ සිරකාරියක් වෙන්ට මම කැමති නැහැ රෂාන්... කොතරම් වයසට ගියත් මම තවමත් කෙනෙක් සමඟ තරඟ කරනවා.“

මෙතෙක් මුහුණ බිමට නැඹුරු කොට හුන් තරුණයා එවර පුදුමයෙන් මෙන් තමා අභිමුවෙහි හුන් මහලු කාන්තාව දෙස බැලුවේය.

“වෙන කවුරුන් හෝ සමඟ නෙවෙයි ඊයේ දවසේ ජීවත් වූ මා සමඟමයි මම හැමදාමත් තරඟ කරන්නේ.“

තරුණයා ඊට අහිංසක ලෙස සිනාසුණේය.

මහලු කත දිගින් දිගටම යෞවන ප්‍රේමයේ උත්කර්ෂය රසාලිප්තව වචනෝද්ගත කරයි. සතියක කාලය තුළ සියල්ල අවසන් වී මුද්‍රණ යන්ත්‍රයෙන් පිටතට ගත් කඩදාසි ගොනුව සිය ගමන් මල්ලේ රුවා ගත් තරුණයා සමුගැන්ම සටහන් කිරීමට ඈ ඉදිරියේ පෙනී සිටී.

“මැඩම්! මට යන්න අවසර“

“රෂාන් මට පොඩි උදව්වක් අවශ්‍යයි“

“කියන්ඩ මැඩම්“

“හෙට මාව ඉස්පිරිතාලෙට ගෙනියන්ඩ ඕනෙ“

“පත්තර කන්තෝරුවට කියන්නම්. වාහනයක් එවයි“

“එපා හැම දෙයක්ම ලෑස්ති කරගත්තට පස්සෙ මෙන්න මේ ත්‍රීවිල් එකට කතා කරමු“ ඈ සටහන් පොතේ වූ දුරකථන අංකය හරිහැටි නොපෙනුණද අනුමානයට මෙන් ඒ දෙසට ඇඟිල්ලක් යවා තරුණයා හට පෙන්විය.

“මැඩම් මම අද මෙහේ නැවතිල හෙට මැඩම්ට ඉස්පිරිතාලෙට යන්ඩ අවශ්‍ය දේවල් සූදානම් කරල දෙන්නම්. මැඩම්ව ඉස්පිරිතාලෙට ඇඩ්මිට් කරල මම මේ ටිකත් අරගෙන පත්තර කන්තෝරුවට යනව“

“ඒක හොඳයි.“

**************

ගොම්මන් සැඳෑවේ වේගයෙන් පැමිණි ත්‍රිරෝද රථය යකඩ ගේට්ටුව අසල නතර කළ ඔහු එතැන සවිකර තිබූ සීනුව කිහිප විටක් නාද කළේය. ප්‍රතිචාරයක් නැත. රෝගියාගේ සුවදුක් බැලීමට ආ ගමන නිරර්ථකය. සැණෙකින් කිසිවක් මතකයට ඒ.

රථයේ අහුමුල්ලක වූ කොළ කැබැල්ලේ සඳහන් ලිපිනය සොයා රථය වේගයෙන් ඉදිරියට ඇදේ. කිහිප දෙනෙකුගෙන් ඒ ගැන විමසුවද කිසිවකු ඒ නොදනී. භාවනාවට සමවැදී මෙන් පුවත්පතක් දිගහැර ත්‍රිරෝද රථයට වී හුන් තැනැත්තා නොකැමැත්තෙන් මුත් මං සලකුණු කීවේය.

“තව කිලෝ මීටර් දෙකක් ඉස්සරහට ගොහින් වම් පැත්තට දාල මීටර් පන්සීයක් විතර යද්දි ඔය කියන තැන හම්බවෙයි.“

කළු පැහැති උස් යකඩ වැටකින් බිම්කඩ සම්පූර්ණයෙන් වටකොට තිබේ. ගේට්ටුවේ පියන් දෙපසට වන්නට විවෘත කොට ඇත. ඇතුළු මාර්ගය දෙපස එක යායට පිහිටි ඉතා උස්වූ සද්ධන්ත විලෝ ගස් පේළියකි. සුදු, කළු ඇඳුම් ඇඳගත් පිරිස් ඒ තුළට ඇතුළු වේ. ලිපිනය නිවැරදි දැයි දැන ගැනීමට ඔහු ගේට්ටුවට ඉහළින් වූ රතු පැහැති පසුබිමේ ලියන ලද සුදු පැහැති අකුරු කියවා බැලීය.

“නිස්සරණ පින්බිම“

ලිපිනය නිවැරදිය. ඔහු රථයෙන් බැස ගේට්ටුවෙන් ඇතුළු වී ඉදිරියට ගියේය. දහසක් දෙන අතර මුත් පාළු මූසල හුදෙකලා බවක් රජයයි. සොහොන් කොත්, ස්මාරක අතර වූ ලිපිනයක සජීවී අයෙකු සිටිය හැකිද? ඔහු තමා අත වූ කොළ කැබැල්ල තැනක හුන් ආරක්ෂක නිලධාරියෙකු හට පෙන්වයි.

“සතියකට කලින් වළ දමාපු කෙනෙක්. එතැන පොඩි ස්මාරකයක් හැදුව. තව ටිකක් ඉස්සරහ...“

වළ දැමූ තැන මට්ටම් කර ඒ මත කුඩා ස්මාරකයක් පිහිටුවා ඇත.

‘මහාචාර්ය මායා දෙල්විට‘ යනුවෙන් එහි කොටා තිබේ. එහි සිමෙන්ති බදාම මේ වනවිටත් වේළී නැත. තැබූ මල් වඩම් පරව සී සී කඩව එහා මෙහා විසිර තිබේ. සුසානයේ ඈතින් පෙනෙන සොහොන් කොත් අනන්තය පිරිමදිමින් හිඳී.

“මේ ලිපිනය අදාළ වෙන්නෙ හෙට දිනයට. ඒ කියන්නෙ අනාගතයට“

ඔහු පසුපස හැරී බලයි. කිසිවකුත් නැත.


https://archives1.silumina.lk/2021/10/23/%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BB%E0%B6%AB-%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%B8

Nissanka Rajapaksa

unread,
May 19, 2024, 9:15:10 PMMay 19
to INDRAKA group
48
මළවුන්⁣ ගේ පාර

නයිජීරියානු ලේඛක චිනුවා අචිබේ

- අනුවාදය සාලිය ගුණවර්ධන

මයිකල් ඕබි ගේ ප‍්‍රාර්ථනා හිතුවාට වඩා ඉක්මනින් ඉටු වන ලකුණු පහළ විය. වර්ෂ එක් දහස් නවසිය හතළිස් හයේ ජනවාරි මාසයේ දී ඔහු න්දුවේ මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස පත් කරනු ලැබුවේ ය.

එය අපේක්ෂිත ප‍්‍රගතිය නො ලද පාසලක් වූයෙන් තරුණ, උද්‍යෝගී හා කාර්යශූර අයකුට එහි විදුහල්පති ධුරය පැවරීමට මීසම් අධිකාරීහු තීරණය කළහ. ඕබි මහතා ඒ වගකීම ඉමහත් උද්‍යෝගයෙන් භාර ගත්තේ ය.

අධ්‍යාපනයෙහි හා සමාජයෙහි ප‍්‍රගතිය පිළිබඳ අපූර්ව අපේක්ෂාවන් රැසක් ඔහු තුළ විය. මෙය එම අපේක්ෂා සහ අරමුණු කි‍්‍රයාවට නැංවීම සඳහා ලැබුණු අවස්ථාවක් විය.

සාර්ථක ද්විතීය අධ්‍යාපනයක් ලැබ ප‍්‍රමුඛ පෙළෙහි තරුණ ගුරුවරයකු ලෙස නිලධාරීන් විසින් නම් කරනු ලැබූ ඔහු මීසම් ක්ෂේත‍්‍රයේ සෙසු විදුහල්පතිවරුන් අතර විශේෂත්වයකට පත් වූයේ ය. පැරැණි විදුහල්පතිවරුන් ගේ පටු දැක්ම හා ඔවුන් ගේ අධ්‍යාපනයෙහි ඌනතා ඔහු ගේ ඍජු විවේචනයට ලක් විය.

“අපි එහෙදි හොඳ වැඩ කොටසක් කරන්ට බලමු, නේද?” යි පත්වීම පිළිබඳ පී‍්‍රතිදායක පුවත සැලවූ අවස්ථාවේ ඕබි මහතා තම බිරිය අමතා කීවේ ය.

“ඔව් ඔව් අපි අපේ උපරිම ශක්තියෙන් යමක් කරමු” යි ඇය පිළිතුරු දුන්නා ය. “අපට හොඳ වත්තක් ලැබේවි. ඒකෙ අලුත් වගාවල් කරලා ලස්සන කරන්න හැකි වේවි”

ඔවුන් ගේ දෙවසරක යුග දිවිය තුළ දී තම ක‍්‍රමවේදයන් පිළිබඳ ව ඔහු දක්වන උනන්දුවත් ‘ඉගැන්වීමට වඩා විශ‍්‍රාම ගොස් ඔනිස්ටා වෙළෙඳ පොළේ වෙළෙඳාම් කිරීමට සුදුසු’ ගුරුවරුන් පිළිබඳ ව ඔහු කරන අවඥා සහගත විවේචනත් නිසා ඇගේ සිත දූෂ්‍ය විය. තරුණ විදුහල්පතිතුමා ගේ බිරිය වශයෙන් තමා පාසලෙහි ‘රැජන’ වන ආකාරය පිළිබඳ මනº චිත‍්‍රයක් ඇගේ සිතෙහි ඇඳෙන්නට විය.

විද්‍යාලයයෙහි සෙසු ගුරුවරුන් ගේ භාර්යාවන් හැම දෙයක ම නව්‍ය විලාසිතාවක් ඇති කරන තමා කෙරෙහි ඊර්ෂ්‍යා කරනු ඇතැ යි ඇයට සිතිණ. විද්‍යාලයයෙහි වෙනත් භාර්යාවන් නොසිටිනු ඇත යන ක්ෂණික සිතුවිල්ලක් ඇය තුළ පහළ විය. සැකයත් බලාපොරොත්තු සහගත බවත් අතර දෝලනය වෙමින් සාංකාකූල වූ ඇය ඒ පිළිබඳ ව තම සැමියා ගෙන් විමැසුවා ය.

“අපේ විද්‍යාලවල වැඩ කරන හැම ගුරුවරියක්ම වාගේ තරුණ අවිවාහක අය” යි ඔහු තරමක ප‍්‍රබෝධයකින් කීවේ ය. “ඒක හොඳ දෙයක්.”

“ඇයි ඒ?” යි ඇය කුකුස්පර ව විමැසුවා ය.

“ඇයි ඒ? ඒ අයට තමන් ගේ මුළු කාලයම විද්‍යාලයේ දියුණුවට යොදවන්න පුළුවනි.”

නැන්සි දුර්මුඛ වූවා ය. විනාඩි කිහිපයක් ඇය නව විදුහල පිළිබඳව සැක මුසු වූවා ය. එහෙත් ඒ විනාඩි කිහිපයකට පමණි. ඇගේ අල්ප වූ රහස්‍ය මානසික අසහනය තම සැමියා ගේ පී‍්‍රතිදායක දියුණුව නො දකින අන්ධ භාවයක් ඇති කරන තරම් ප‍්‍රබල නො වී ය.

ඔහු දෙපා එකිනෙක පටලවා ගෙන පුටුවෙහි හිඳගෙන සිටින ආකාරය දෙස ඇය බැලුවා ය. ඔහු පහතට කඩා වැටුණු උරහිසින් සහ දුබල පෙනුමෙන් යුක්ත ව සිටිනු දක්නට ලැබිණි. එහෙත් සමහර විට ක්ෂණික මානසික ශක්තියකින් මවිතයට පත්කරන තරම් කි‍්‍රයාශීලී භාවයක් ඔහු කෙරෙන් පළ විය.

 ඔහු මේ මොහොතේ සිටින ඉරියව්ව තුළ යම් ආකාරයකින් ඔහු ගේ සියලු ශාරීරික ශක්තීන් ගිලී ගිය දෑස පිටුපස විශ‍්‍රාම ගියා සේ පෙනිණ. ඔහු විසි හය හැවිරිදි වුව ද මෙවිට තිස් විය හෝ ඊට වැඩි වයසකට පත් අයකු ගේ පෙනුමක් ගත්තේ ය. සාමාන්‍යයෙන් ඔහු විරූපී පුද්ගලයෙක් නො වී ය.

“ඔයාට කල්පනා කරන්ට දෙයක් තියෙනවා වගේ” යි නැන්සි තමා කියවමින් සිටි සඟරාව පසෙකට ඇල කර ඔහු දෙස බලා කීවා ය.

“මම මේ කල්පනා කර කර හිටියේ මේ මිනිස්සු විද්‍යාලයේ කටයුතුවල දී අපට මොන තරම් ප‍්‍රයෝජනවත් වේවිද කියලා.”

න්දුවේ විද්‍යාලය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම පසුබට තත්ත්වයකට ඇද වැටී තිබිණ. ඕබි මහතා මුළු ජීවිතය ම වැඩට කැප කළ අතර ඔහු ගේ බිරිය ද ඒ අනුව කි‍්‍රයා කළා ය. ඔහුට අරමුණු දෙකක් තිබිණ.

 අධ්‍යාපන සාධන මට්ටම ඉහළ තැනකට ගෙන ඒම එකකි. අනෙක පාසල් සංකීර්ණය සුන්දර ස්ථානයක් බවට පත් කිරීම යි. නැන්සි ගේ සිහින උද්‍යානය වැස්ස වැටීමත් සමඟ ජීවමාන බවට පත් වූයේ ය. ගහ කොළ මල් බර විය. ඉනි වැටට සිටුවන ලද සපත්තු මල් ගස් රතු කහ මලින් සැරැසිණි. ඒවා අවට වැවුණු පඳුරු අතර කැපී පෙනිණි.

ඕබි මහතා තම වැඩ පළවල ඇලී ගැලී සිටි සන්ධ්‍යා කාලයක පාසල් වත්ත හා ගොඩනැගිලි සංකීර්ණය අතර දහස් පෙති මල් පාත්තිය මැදින් ගාටමින් යන මහලු ගැමි ගැහැනියක දක්නට ලැබිණ.

කෝපයට පත් විදුහල්පතිවරයා ඒ දෙසට වේගයෙන් පිය නැගී ය. පාසල් සංකීර්ණය මැදින් වැටී තිබුණ අභාවයට යමින් ඇති බවට අපැහැදිලි සලකුණු සහිත අඩි පාරක් ඔහුට දක්නට ලැබිණි.

“පුදුමයි” යි ඕබි මහතා වසර තුනක් පමණ විදුහලෙහි සේවය කර ඇති ගුරුවරයකු අමතා කීවේ ය. “ඔය මහත්තුරු ගම්මුන්ට මේ අඩි පාරේ යන්න එන්න ඉඩදීලා තියෙනවා. විශ්වාස කරන්නත් බැරි තරම්.”

“අඩි පාර නේද?” යි ගුරුවරයා සමාව අයදින ආකාරයෙන් කීවේ ය. “ඒක ඒ අයට වටිනා දෙයක් විදියට පෙනෙනවා. කලාතුරකින් වගේ ඒ පාර යොදා ගන්නේ සොහොන් පිටියටයි, දේවස්ථානයටයි යන්න එන්න විතරයි”

“ඉතින් ඒකෙන් විද්‍යාලයට වෙන සෙත මොකක්ද?”

“අනේ මං දන්නෙ නැහැ.” යි අනෙකා උරහිස සැලී ය. “ඒත් මතක තියා ගන්න එක හොඳයි ඒකෙ ලොකු අභියෝගයක් තියෙන බව. කාලෙකදී අපි ඔය පාර වහන්න සූදානම් වුණා.”

“ඒ කාලෙකට ඉස්සර ඒත් දැන් ඒ පාරෙ යන්න එන්න දෙන්න බැහැ.” යි කියමින් ඕබි මහතා එතැනින් ඉවත් ව ගියේ ය. “ලබන සතියේ අධ්‍යාපන නිලධාරි මහත්තුරු ආ විට මොනව හිතාවිද? මට දැනෙන හැටියට ගමේ මිනිස්සු එදාම විද්‍යාලයයේ කාමරයක් මිථ්‍යා පුද පූජාවලට යොදා ගන්නත් බැරි නැහැ”

වැඩි දිනක් යෑමට පෙර පාසල් වත්තට ඇතුළුවන හා ඉන් පිට ව යන අනියම් කඩුලු අවුරා රිටි වැටක් ඉදිවී එය කටු කම්බිවලින් සවිමත් කැරිණි.

ඉන් දින තුනකට පසු ගමේ දේවස්ථානයේ පූජකවරයා විදුහල්පතිවරයා හමු වූයේ ය. මහලු මිනිසකු වූ පූජකවරයා මඳක් පහතට නැඹුරු ව තරමක් මහත සැරයටියක් අතැති ව ගමන් කෙළේ ය. යම් අදහස් හුවමාරුවක දී කිසියම් කරුණක් අවධාරණය කරන වාරයක් පාසා ඔහු තම අතැති සැරයටිය මඳක් ඉහළ නඟා පොළොවට ඇන තද කෙළේ ය.

“මට ආරංචියි” යි සුපුරුදු හෘදයංගම සංලාපයට අනතුරු ව කීවේ ය. “මේ ළඟ දී අපේ පරම්පරාගත පාර වහලා දමලා කියල”

“ඔව්” යි විදුහල්පති ඕබි මහතා පිළිතුරු දුන්නේ ය. “විද්‍යාල භූමිය මැද්දෙන් පාරවල් හදා ගන්න ඉඩ දෙන්න බැහැ. එහෙම ඉඩ දෙන්න පුළුවන්කමක් නැහැ.”

“මේ අහන්න මගෙ පුතා” යි පූජකවරයා සැරයටිය බිමට තද කරමින් කීවේ ය. “ඔය පාර ඔබතුමා උපදින්නත් ඉස්සර ඉඳලා තියෙන එකක්. ඔබතුමා ගේ පියා උපදින්නත් ඉස්සර මිනිස්සු මේ පාරෙන් ආවා ගියා. අපේ මළගිය නෑයන් අවසාන ගමන් ගියෙ ඔය පාරෙන්. ඒ අය ආපහු එන්නෙත් ඒ පාරෙන්. වඩාත්ම වැදගත් කාරණේ මේකයි. අපේ මතු උපදින පරම්පරාවල අයටත් මේ පාර අයිතියි.”

ඕබි මහතා තෘප්තිමත් මඳ සිනාවකින් යුතු ව සවන් දී සිටියේ ය.

“අපේ විද්‍යාලයයේ මූලික අරමුණ” යි ඔහු කරුණු පැහැදිලි කෙළේ ය. “ඔය වගේ මිථ්‍යා මත වාද මුලිනුපුටා දැමීමයි. මැරිච්ච මිනිසුන්ට අඩි පාරවල් ඕනැ නැහැ. ඕවා සම්පූර්ණ මිථ්‍යා අදහස්. අපි කරන්නේ දරුවන්ට ඔය වගේ විශ්වාසවලට හිනාවෙන්න ඉගැන්වීමයි.”

“ඔබතුමා කියන දේ ඇත්ත වෙන්න පුළුවන්” යි පූජකවරයා පිළිතුරු දුන්නේ ය. “ඒත් අපි අපේ පියවරුන් ගේ කටයුතු අනුගමනය කරනවා. ඔබතුමා පාර ඇරලා දෙනවා නම් අපට රණ්ඩු දබර කරගන්න දෙයක් නැහැ. ඒකයි මම දිගටම කියා හිටින්නෙ. උකුස්සාට රාජාලියාට උන්ගෙ තැන්වල ලගින්න ඉඩ දෙන්න.” යි කී ඔහු ආපසු යන්නට සූදානම් වූයේ ය.

“මට බොහොම කණගාටුයි” යි විදුහල්පතිවරයා කීවේ ය.

“ඒත් විද්‍යාල භූමිය හරහා මහ පාරකට ඉඩ දෙන්න බැහැ. ඒක අපේ නීති රෙගුලාසිවලට විරුද්ධයි. මම යෝජනා කරනවා විද්‍යාල භූමියට පිටතින් පාරක් හදා ගන්න කියලා. අවශ්‍ය නම් ඒකට විද්‍යාලයයේ ළමයින් ගේ සහයෝගය ලබා දෙන්නත් පුළුවනි. මම හිතන්නේ නැහැ මුතුන් මිත්තන් ඔය කුඩා, ඒ වගේම කරදරකාරී පාරකින් ආපහු එයි කියලා.”

දින දෙකකට පසු ගමේ තරුණ මවක් දරු ප‍්‍රසූතියේ දී ම මිය ගියා ය. වහා ම පවුලේ ඥාතීහු දේවාරූඪයෙන් පේන කියන්නකු හමු වී මේ අපල උපද්‍රව පිළිබඳ ව විමැසූහ. පාසල් වත්තෙහි වැට බැඳීමෙන් නිග‍්‍රහයට පත් කරන ලද දෙවියන් සතුටු කිරීම සඳහා සෑහෙන කැප කිරීමක් කළ යුතු බවට ඔවුනට උපදෙස් ලැබිණි.

ඕබි මහතා පසු දින උදෑසන අවදි වූයේ ඔහු ගේ වැඩ කටයුතුවල සුන් බුන් මැද්දේ ය. පාර අවුරන ලද කඩුලු පමණක් නො ව, මුළු පාසල වටා ම වූ අලංකාර ඉනි වැට උගුළුවා දමා තිබිණි. මල් ගස් තළා පොඩි කර දමා තිබිණි. විද්‍යාලයයේ එක් ගොඩනැඟිල්ලක් බිමට සමතලා කර තිබිණි.

එදින ම පාසල පරීක්ෂා කිරීමට පැමිණි ඉංගී‍්‍රසි ජාතික පරීක්ෂකවරයා විද්‍යාලය පරිශ‍්‍රයෙහි තත්ත්වය පිළිබඳ ව අප‍්‍රසන්න වාර්තාවක් ලියා තැබී ය. පරීක්ෂකවරයා විසින් ලොග් සටහන් පොතෙහි ලියන ලද වාර්තාවෙහි වඩා බරපතළ හා තීරණාත්මක සටහනක් ද විය.

“... විද්‍යාලයයත් ගමත් අතර ගෝති‍්‍රක අරගලය නව විදුහල්පතිවරයා ගේ නොමඟ යැවීමේ ප‍්‍රයත්නයන් හේතුකොට ගෙන වර්ධනය වී ඇත.”

Nissanka Rajapaksa

unread,
May 20, 2024, 8:33:29 PMMay 20
to INDRAKA group
49
රැකවරණය

ඉන්දීය ලේඛක වී. ලාල් වර්මාගේ (V. Lal Verma) “සරණාගත්” කෙටිකථාව

පරිවර්තනය ආචාර්ය ජගත් රූපසිංහ

දවසේ වැඩ නිම වූ මස්කඩකරු ලලිට්පූර් නගරයේ සිට පැමිණෙමින් සිටියේ ය. ඔහු නමින් රාජබ් වී ය. ඔහුගේ බිරිඳ ද ඔහු සමඟ විය. එදින ආදායම වූ රුපියල් දෙතුන් සියයක මුදල ද ඔහු සන්තකයේ විය. එය කාලයේ හැටියට ලොකු මුදලකි. මගතොට මිනිස් පුලුටක් නැති ඒ මාර්ගයේ ගමන අතිශයෙන් අවදානම් විය. රාති‍්‍රය පැමිණ ඇත. නැවත ලලිට්පූර් යාමට ද නොහැකි ය. රාති‍්‍රය ගත කළ යුතු ය. මහමග නැවතීම ද කළ නොහැකි ය. අවසන ආසන්නයේ වූ මාපුර ගමේ නැවතීමට ඔහු තීරණය කළේ ය.

බිරිඳ උණෙන් පෙළෙයි. ඔහු ළඟ මුදල් ඇත. ගොන් කරත්තයක නැගී යා හැකි ය. එහෙත් එය වියදම් අධික ගමනකි. එනිසා රාති‍්‍රය ගම්වැසියකුගේ නිවසේ ගතකර පසු දින උදෑසන ම පිටවීම ඔහුගේ තීරණය විය.

නැවතීමට තැනක් තිබිය යුතු ය. මස්කඩකාරයකු වූ ඔහුගේ රැකියාව, කුලය සැඟවිය නොහැකි ය. බිරිඳගේ නාසයේ වූ රිදී මුද්දත් ඇය හැඳ සිටි මුස්ලිම් කාන්තාවන්ට පොදු වූ මුස්ලිම් පිජාමාවත් වසන් කළ නොහැකි ය. මාපුර ගමේ බොහෝ දෙනෙකු ඔහු පුද්ගලික ව ම හඳුනයි. ඔහු මේ ගමෙන් මස් කඩයට සතුන් මිලදී ගෙන තිබුණි. තමා හඳුනන තමා සමඟ ගනුදෙනු කර ඇති ගම් වැසියන් හමු වූ මස්කඩකරු ඔවුන්ගේ නිවෙස්වල රාති‍්‍රය ගත කිරීමට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටියේ ය. සැවොම ඔහුගේ ඉල්ලීම ඉවත දැමුවෝ ය. මස්කඩකරුට නවාතැන් දුනහොත් ගමේ අය දැනගැනීමෙන් තමන් හට අවැඩක් සිදුවේ යැයි සිතු ඔවුහු රාජබ්ගේ ඉල්ලීමට කන් නොදුන්නහ.

ඨාකුර්වරුන් ඉඩම් හිමි පොහොසතුන් වුවත් ඉතාමත් දුප්පත් වූ ඨාකුර්වරයෙක් ගමෙහි ජීවත් විය. කුඩා ඉඩමක් තිබු මුත් හරකබාන, කරත්තයක් හෝ නගුලක් ඔහු සතු නොවී ය. ගොවියෝ ඔහුගේ කුඩා ඉඩමෙහි වගා කළහ. ඒ සඳහා ඔහු ගොවීන්ගෙන් බදු ගත්තේ ය. බදු ලැබීම නිසා ඔහුට ජීවත් වීමට ගැටලුවක් නොවී ය. ඔහු සතු නිවස ඉතා කුඩා වුවද ගම්මුන් එය හැඳින්වූවේ මාලිගාව නමිනි. ඨාකුර්වරයාට රාජා ලෙස ඇමැතීමටත් ගම්මු පුරුදු වී සිටියහ.

කළ හැකි කිසිවක් නොවූ රාජබ් සිය බිරිඳ ද කැටුව ඨාකුර්ගේ නිවසට පැමිණියේ ය.

සාලයේ වාඩිවී හුන් ඨාකුර් සුපුරුදු ලෙස තම දුම් කෝව උරමින් සිටියේ ය. රාජබ් දුර සිටම ඨාකුර්ට ආචාර කළේ ය.

“උතුමාණෙනි”, මම හුඟාක් දුර බැහැර සිටයි එන්නෙ. මගේ බිරිඳට උණ. ඇය එළි මහනේ සිටියහොත් ඇයගේ උණ වැඩිවෙයි. මටත් මහන්සියි. අපි ගැන අනුකම්පා කර අපට රාති‍්‍රය ගත කරන්න ඉඩ දෙන්න.” රාජබ් අයැදී ය.

“නුඹේ රක්ෂාව?“ සිටි තැනින් නොසැලී ම ඨාකුර් ප‍්‍රශ්න කළේ ය.

“මම මස්කඩකරුවෙක්. මස් මරන්නෙක්.” රාජබ් සෙමින් පැවසී ය. ඔහුගේ මුහුණේ වූයේ බයාදු පෙනුමකි.

ඨාකුර්ගේ මුහුණ කෝපයෙන් රත්පැහැ වුණි. ඇස්වලින් ගිනි පුපුරු විසිවන්නාක් මෙනි.

“උඹ දන්නවාද මේ ගෙදර කාගෙද කියා? මෙහි එන්න තරම් නුඹට හයියක්” ඨාකුර් උස් හඩින් කෑගැසී ය.

“මෙය රාජාගේ මාලිගය, ඒකයි මම උදව්වක් ඉල්ලගෙන මෙහාට ආවේ.” රාජබ්ගේ වචනවල වූයේ බලාපොරොත්තුවයි.

“උඹ ව කවුරුවත් බාර ගත්තේ නැද්ද?” කේන්තිය අඩු වූ ඨාකුර්ගේ හඬ කාරුණික විය.

“නැහැ උතුමාණෙනි. මම උත්සාහ කළා. ඒත් මගේ රැකියාව නිසා ඔවුන් මාව බාර ගත්තෙ නැහැ.” දනිස් බිම තබා බිමට නැමුණු රාජබ් පැවැසී ය.

වෙව්ලමින් කෙඳිරිගාමින් සිටි ඔහුගේ බිරිඳ පොට්ටනියක් බිම දැමුවා සේ ඔහු ළඟින් වැතිරිණි.

“නුඹේ දුම් කෝව තියෙනවද?” ඨාකුර් ඇසී ය.

“එහෙමයි උතුමාණෙනි.”

“ඇතුළට වරෙන් උඹට දුම්කෝව උරන්න පුළුවන්. ගෑනිවත් අරන් වරෙන් සාලයේ කොනක උඹලට වැතිරෙන්න පුළුවන්.”

රාජබ් සහ බිරිඳ සාලයට ඇතුළු විය.

“උඹල මෙතනින් පිටවෙන්නෙ කොයි වෙලාවටද?” ඨාකුර් ප‍්‍රශ්න කළේ ය.

“එළිය වැටෙන්න කලින් පාන්දර ම. අපි ළඟ පාන් තියෙනවා. කෑම හදන්න අවශ්‍ය නැහැ.” රාජබ් හඬ අවදි කළේ ය.

“උඹේ නම?”

“රාජබ්!”

රැහැයි හඬ ඔවුන් අතර වූ නිසලතාවය බිඳින්නට විය.

“උඹල එන්නෙ කොහේ ඉඳල ද?” ටික වෙලාවකට පසු ඨාකුර් ඇසී ය. රාජබ් තමන් පැමිණි නගරය පැවැසී ය.

“උඹ එහේ ගියේ ඇයි?”

“ඒක මගේ රක්ෂාව උතුමාණෙනි.”

“නුඹේ රක්ෂාව හොඳ එකක් නොවෙයි.”

“මොනව කරන්නද උතුමාණෙනි, බඩගිනි නිවාගන්න දෙවියන් අපට දුන්න රක්ෂාව අපි කාට කාටත් කරන්න වෙනවා.”

“උඹේ දවසක ලාභය කීයද?” එසේ ඇසීම එතරම් හොඳ දෙයක් නොවන බව දත් ඨාකුර් එය ඇසුවේ කැමැත්තකින් නොවේ.

“උතුමාණෙනි මට යන්තම් එදා වේල ගතකරන්න කීයක් හරි හොයාගන්නවා.” රාජබ් ද වැඩි කැමැත්තකින් තොර ව ම ප‍්‍රකාශ කළේ ය.

ඨාකුර් තවත් ප‍්‍රශ්න නැගුවේ නැත.

“මම උදේ පාන්දර ම යනවා. මගෙ ගෑනිට ඒ වන විට හොඳ වෙයි.” රාජබ් ටික වේලාවකට පසු පැවසී ය.

වෙහෙසට පත් වී සිටි රාජබ් සහ බිරිඳ නින්දට වැටුණි. මධ්‍යම රාති‍්‍රය උදාවිය. ඨාකුර් නිදි නැත. ගන අන්ධකාරය මැදින් පැමිණි පිරිස ඨාකුර්ට අඬ ගැසී ය.

ඨාකුර් ඔවුන් ව බලාපොරොත්තුව සිටි බව ඔහුගේ හැසිරීමෙන් පැහැදිලි ය. තමාගේ වටිනා වූ සළුව පොරවාගෙන ම ඨාකුර් නිවසින් එළියට ආවේ ය.

“නායකතුමනි අද අපට කිසිවක් සොයාගන්න බැරිවුණා. හෙට හවස හොඳ වෙයි.” පිරිසේ සිටියකු සිහින් හඩින් පැවසී ය.

“අද සල්ලි අවශ්‍යයි. හොඳයි හෙට බලමු. උඹල අද උත්සාහ කළා ද” ඨාකුර්ගේ හඬ පැහැදිලි ය.

“ඔව්, මුදල් තිබෙන මස්කඩකාරයෙක් මේ පාරෙන් ආවා. අපි ප‍්‍රමාද වුණ නිසා, එයා බේරුණා. අපි හෙට බලමු.”

“අපි මස්කඩකාරයාගේ සල්ලි ගන්නෙ නෑ.” ඨාකුර් දැඩි ව පැවසී ය.

“ඇයි නැත්තේ”

“ඒවා කිලිටි සල්ලි”

සල්ලිවල ඒවා ලියල නැහැ.”

“ඒ වුණාට උගේ රක්ෂාව නිසා ඒ මුදල් අපිට අකැපයි.”

“ඒ සල්ලි අයිති හැමෝට ම. මස් කඩකාරයා අතගෑවයි කියල ඒවා කිලිටි වෙන්නෙ නැහැ. ඒවා උගෙ සල්ලි වෙන්නෙ නැහැ.”

“මගෙ හිත ඒ සල්ලි ගන්න කැමති නැහැ. ඒවා අපට සුදුසු නැහැ ඒවා අපිරිසිදුයි කිලිටියි.”

“අපි ඒ සල්ලි අපේ කඩුවලින් පිරිසිදු කරමු.”

ඔවුන් දිගු වෙලාවක් වාද කළේ නැත. ආගන්තුකයන්ට ඉවත් ව යන ලෙස අණ කළ ඨාකුර් නිවසට ඇතුල් විය. රාජබ් සහ බිරිඳ තද නින්දේ පසු වූහ. ඨාකුර් ද ටිකකින් නින්දට වැටුණි.

හිරු රැස් මිහිකත සිපගන්නට විය. උදෑසන පැමිණ ඇත. රාජබ්ට ගමන ආරම්භ කළ නොහැකි ය. බිරිඳගේ උණ අඩුවී ඇතිමුත් ඇගේ සිරුර රිදුම් දෙන්නට විය. ඇයට අඩියක්වත් සෙලවීමට නොහැකි ය. උදෑසන ඔවුන් එහි සිටිනු දුටු ඨාකුර් කෝපාවිශ්ට විය.

“මුළු ගමේ ම මිනිස්සු දකියි උඹ මෙහේ ඉන්නවා. මිනිස්සු කතා හදයි. දැන් ම පිට වෙයන්.” ඨාකුර් ගුගුළේ ය.

රාජබ් නැවත නැවතත් යදින්නට වුවත් ඨාකුර් එකඟ වූයේ නැත. මුළු ගම ම ඨාකුර්ගේ ආධිපත්‍ය පිළිගත්ත ද සමාජයේ බලපෑම්වලින් ගැලවීමට ඔහුට ද නොහැකි ය.

රාජබ්ට සහ බිරිඳට ගෙයින් පිට වීමට සිදුවිය. ගසක් යට වැතිරුණු ඔවුන් හින්දුන්ට ශාප කරමින් දෙස් දෙවොල් තබන්නට විය. බිරිඳට පැය කිහිපයකින් පසු ගමන් කිරීමට හැකි වෙතැයි රාජබ් සිතු මුත් එය සිදුවූයේ නැත. බිරිඳ ගෙන යාමට කරත්තයක් කුලියට ගැනීමට අවසානයේදී රාජබ් තීරණය කළේ ය.

කරත්තකරු සහ රාජබ් අතර වූ දිගු කේවල් කිරීමෙන් පසු ලලිට්පූර් වෙත ඔවුන් රැගෙන යාමට කරත්තකරු එකඟ විය. කේවල් කිරීමෙන් පසු වුවත් එය අධික ගාස්තුවකි. ඒත් රාජබ්ට කළ හැකි අන් දෙයක් නොවී ය. ඒ වන විටත් දහවල ළඟාවී තිබුණි. බිරිඳගේ උණ ගතිය වැඩිවන්නට විය. ඇය වෙවුලන්නට විය. එම තත්ත්වය තුළ ඇය රැගෙන යාමට නොහැකි ය. ඇයගේ උණ අඩුවන තුරු ගමන කල් දැමීමට තීරණය කළේ ය.

පැය එකහමාරකට පමණ පසු ඇගේ වෙව්ලීම නැවතිණි. ඒත් උණ වැඩිවෙමින් පවතියි. බිරිඳ කරත්තයට පැටවූ රාජබ් ගමන ඉක්මන් කරන ලෙස කරත්තකරුට පැවසී ය.

“දවස ම මෙතන ගත කරල දැන් උඹට හදිස්සි වෙලා.” කරත්තකරු නොමනාපයෙන් පැවසී ය.

ඉක්මනින් ගමන් කරන ලෙස රාජබ් නැවතත් කාරුණික ව අයැද සිටියේ ය.

“මේ විදියට මට යන්න බැහැ. උඹේ සල්ලි ආපහු දෙන්නම්. මම ගෙදර යනවා” කරත්තකරු කෑගැසී ය.

රාජබ් ටික වෙලාවක් නිසොල්මන් විය. ඉන්පසු ඉතාමත් සෙමින් කරත්තකරු ඇමතී ය.

“සහෝදරයා, කරදර හැම දෙනාට ම සිදුවෙනවා. මනුෂ්‍යයකු පමණයි වෙනත් ඕනෑ ම කෙනෙකුට උදව් කරන්නෙ. සතුන්ට උදව් කරන්න බැහැ. උඹටත් දරුවො ඇතිනෙ. මා ගැන අනුකම්පා කරපන්.”

මස්කඩකාරයෙක් අනුකම්පාව යදිනවා ඇසූ කරත්තකරු මහ හඩින් සිනාසෙන්නට විය. කරත්තකරු කරත්තය නොසොල්වා සිටින විට රාජබ් ඔහුට තව තවත් මුදල් දුණි. කරත්තය ගාටමින් යයි. බිරිඳ උණ විකාරයෙන් සිහිසුන් ව ඇත. රාජබ් සිය පපු ප‍්‍රදේශයේ සඟවා තිබු මුදල් පසුම්බිය අතගා බැලී ය. එය සුරක්ෂිත ය. බිරිඳට බෙහෙත් ගැනීමට තවත් මුදල් අවශ්‍ය ය. කරත්තකරුට වැඩිපුර මුදල් දීමට සිදුවිය. කරත්තකරු ගැන කේන්ති ආවත් එය පෙන්වීමට ඔහුට අවශ්‍ය නොවී ය.

කාලය කා දැමීම සඳහා ඔහු කරත්තකරු සමඟ කතා කරන්නට විය.

“මෙතන ඉඳල ගමකට හුඟක් දුරද”

“ඔව් ගොඩක් දුරයි. අපි ළඟම තියෙන ගමේ නවතිමු.”

“කාගේ ගෙදරද”

“ඕනෑ ම තැනක. ගහක් යට වුණත් හෙට උදේ ම අපිට ලලිට්පූර්වලට යන්න පුළුවන් වේවි.”

“උඹ හෙට උදේටත් සල්ලි ඉල්ලයි”

“ඇයි? මම මගේ ගාස්තුව අරන් ඉවරයි. මට ආයෙ සල්ලි අවශ්‍ය නැහැ.”

“උඹ අද ගත්ත විදිහට. ලලිට්පූර්වලදි නම් මම උඹට පෙන්වනවා.”

“උඹ මොනවද මට කරන්නෙ. උඹට කරත්තෙ නිකන් යන්න ඕනද”

“මොකක් උඹට සල්ලි දීලත් උඹ කියන්නෙ අපි නිකන් පිනට යන්න කැමතියි කියලද? උඹ දන්නවද මම රාජබ්, උඹ තවත් කරදර කළොත් මම උඹට පිහියෙන් ඇනල කෑලිවලට කපල කැලේට විසිකරල කරත්තෙ ලලිට්පූර්වලට ගෙනි යනවා.” රාජබ්ට සිය කේන්තිය පිට කිරීමට අවශ්‍ය නොවූවත් ඒ ගැන නොහිතා ම කියැවිණි.

කරත්තකරු වටපිට බැලී ය. කලුවර වැටී ඇත. පේන තෙක් මානයේ කිසිවෙක් නැත. වටේට ම ඇත්තේ ගණට වැවුණු පඳුරු ය. රාජබ්ගේ වචනවලින් කරත්තකරුගේ සියොලඟ වෙව්ලී ය. සීතල යකඩයක් ඉල ඇටවලට වැදුනාක් මෙන් ගත සීතල විය.

ඔහු නිශ්ශබ්ද ව ම කරත්තය දැක්කී ය. ඔහුගේ සිතේ නොයෙකුත් දේ පහළ වන්නට විය.

ගමට ළඟාවුණු ගමන් ම කෑගහල මිනිස්සු ගෙන්නල රාජබ්ගෙන් ගැලවෙනවා. උගෙ සල්ලි දෙනවා. ගමන යන්නෙනම් නැහැ. ඌ මාව අතරමගදි මරා දමයි.’

යා හැකි වූයේ ටික දුරකි. ඉද්ද ගැසුවාක් සේ ගොනුන් මග නතර වුණි. කරත්තයේ පිටුපස සිටි රාජබ් ඉදිරියේ සිදුවන කිසි දෙයක් නොදුටුවේ ය. ඔහු කරත්තකරුට කෑගැසී ය.

“උඹට මොකද වුනේ. නින්ද ගියාද?”

“හෙලවෙන්න එපා. දැඟලුවොත් බලාගෙනයි” රාජබ්ගේ හඬ පරදවමින් උස් හඬක් මතුවිය. ඒ හඬ කරත්තයට ඉදිරියෙන් සිටි මිනිසුන් ගෙන් එකකුගේ විය.

පොලු මුගුරු ගත් මිනිසුන් හතර පස් දෙනෙකු එහි විය. ‘මේ වෙලාවෙ මුන් මෙතනට කඩා පැන්නෙ කොහොමද කියල දෙයියො තමයි දන්නෙ’ රාජබ්ට සිතුණි.

මිනිසුන්ගෙන් එකෙකු ඔහු අත වූ මුගුරෙන් කරත්තයට පාරක් ගැසී ය. තවත් දෙදෙනකු ඕනෑ ම වේලාවක පහරදීමට සූදානම් ව රාජබ්ගේ දෙපසින් සිට ගත්තේ ය.

කරත්තකරු කරත්තයෙන් බැස ඉවතට ඇදෙන්නට විය.

“මහත්තයෝ, මම කරත්තකාරයා. මම කුලියට වැඩ කරන්නෙ. මට මොකවත් කරන්න එපා.”

“අර කවුද” රාජබ් පෙන්වූ එකකු හෙන ගසන්නාක් මෙන් කරත්තකරු ගෙන් ඇසී ය.

කරත්තකරු බියවිය, ගොළු විය.

රාජබ් තම මුදල් පසුම්බිය අත ගා බැලී ය. ඉන්පසු කටහඬ අවදි කළේ ය.

“මම දුප්පත් මිනිහෙක්. මා ළඟ කිසිවක් නැහැ. බිරිඳ ලෙඩ වෙලා කරත්තෙ නිදි. මට යන්න දෙන්න” රාජබ් අයැදී ය.

එක් මිනිසකු ඔහු අත වූ මුගුර රාජබ්ගේ හිස ළඟට එසවී ය. බේරි දුව ගිය කරත්තකරු ව තවකෙක් අල්වාගෙන ආවේ ය.

“අනේ මාව අතාරින්න. මා ළඟ තියෙන්නෙ කාසි දෙක තුනයි.” කරත්තකරු පින්සෙන්ඩු විය.

“අර මිනිහා කවුද කියපන්” එකෙක් නැවතත් තර්ජනය කළේ ය.

“ලලිට්පූර්වල මස්කඩ කාරයෙක්” කරත්තකරු වෙවුලමින් පැවසී ය.

කණ්ඩායමේ නායකයා යැයි සිතිය හැකි තැනැත්තා සිය මුගුර ද රැගෙන රාජබ්ට ළංවිය. කළුවර නිසා කිසි කෙනෙක් පැහැදිලි ව හඳුනාගත නොහැකි ය.

“උඹ මස්කඩකාරය ද ඇත්ත කියපන්”

“එහෙමයි” රාජබ්ට එක්වර ම කියැවිණි.

“මම දුප්පත්. මට හිංසා කරන්න එපා. මගේ බිරිඳට හුඟාක් අමාරුයි.” රාජබ් දොඩවන්නට විය.

ඔහුගේ බිරිඳ තදින් කෙඳිරි ගාන්නට විය.

“ඔහුගෙ නම රාජබ්. ඔහු ව අතහැර අපි යමු” නායකයා තම සගයාගේ කනට කර පැවසී ය.

සගයා එයට අකැමැති විය. “ඌ දැඟලුවොත් ගහපන්. ඌ මස්කඩකාරයා උනත් නැතත් කමක් නැහැ” ඔහු තව සගයකුට කෑගැසී ය.

“අපි ඌට යන්න අරිමු” නායකයා යැයි සිතිය හැකි පුද්ගලයා නැවතත් පැවසී ය.

“අපි ඌට ගහන්නෙත් නැහැ. ඌව අල්ලන්නෙත් නැහැ.”

ඌ මස්කඩකාරයෙක් නිසා බය වුණාද? අද ඔබට විකාර හැදිලද? මම බලාගන්නම්.” සගයා නායකයාට දොස් තබමින් පැවසී ය.

ඔහු තම මුගුර රාජබ්ගේ පපුවට තැබී ය. මුදල් දෙන ලෙස ඉල්ලා තර්ජනය කළේ ය.

“අහකට වෙයන්, එයාට මොකුත් කියන්න එපා. එයාගෙ බිරිඳ ලෙඩ වෙලා” නායකයා කෑ ගැසී ය.

ඇය එතන හිටියාවේ. මම මස්කඩකාරයාට බෙහෙත් දෙන්නම්” සගයා නැවතත් රාජබ්ට තර්ජනය කළේ ය.

“බලාගෙනයි මම එකපාරක් කීවා. බිමට බැහැපන් නැත්නම් මම උඹේ ඔලුව කුඩු කරනවා.” නායකයා තම සගයාට කෑගැසී ය. කරත්තයේ සිටි සගයා කේන්තියෙන් බිමට පැන්නේ ය.

“උන් ඊයේ රෑ මා ළඟට ආරක්ෂාව පතා පැමිණියා. උන්ට කිසි දෙයක් කරන්න එපා” නායකයා තම අණසක පැතිරවී ය.

නායකයා කරත්තකරු දෙස බැලී ය.

“කරත්තය දක්කපන්. මොවුන් ව නියමිත තැනට බස්සලා වරෙන්. නැත්නම් මම උඹ ව ඉතුරු කරන්නෙ නැහැ” ඔහු කරත්තකරුට තර්ජනය කළේ ය.

“මේ සිද්ධිය කාටවත් කීවොත් උඹල හැම දෙනාව ම පණ පිටින් පුලුස්සනවා.” ඔහු නැවතත් කෑගැසී ය.

කරත්තකරු කරත්තය ඉදිරියට දක්කන්නට විය.

“මම ආයේ ඔබ සමඟ එන්නේ නැහැ” සගයා නායකයාට දොස් පැවරී ය.

“එන්න එපා මට තනියෙන් පුළුවන්. එකක් මතක තියා ගනිල්ලා. ආරක්ෂා ව ඉල්ලන් ආ සරණාගතයකු ව පාවා දෙන්න එපා” නායකයා දැඩි ව පැවසී ය.

https://archives.silumina.lk/punkalasa/20090315/_art.asp?fn=ar0903153

Nissanka Rajapaksa

unread,
May 21, 2024, 8:33:35 PMMay 21
to INDRAKA group
50

ගණිතඥයා


අලගු සුභ‍්‍රමනියම්

(ඉංග‍්‍රීසි සාහිත්‍ය ක්‍ෂේත‍්‍රයෙන් ලෝක ප‍්‍රසිද්ධියට පත් ලාංකීය නිර්මාණ කරුවෙකි. 1915 දී යාපනයේ උපත ලද මොහු නීති ක්‍ෂේත‍්‍රයේ බැරිස්ටර්වරයකු ලෙස කටයුතු කෙළේය.
මොහු ගේ සාහිත්‍ය නිර්මාණ ජර්මන්, ප‍්‍රංශ, රුසියා හා ඉන්දීය භාෂා කිහිපයකටත් පරිවර්තනය වී තිබේ.
මොහු ගේ මුල් ම නිර්මාණ එකතුව The Big Girl  නමින් මුල්වරට පළවූයේ 1964 දී ය. මෙවර මෙහි පළ වන ගණිතඥයා The Mathematician කෙටිකතාව ලෝක සාහිත්‍යයේ විශිෂ්ට කෙටිකතා නමින් හයිඩලබර්ග් නගරයේ ප‍්‍රකාශයට පත් කැරුණු කෘතියෙහි ඇතුළත් ය. අලගු සුභ‍්‍රමනියම් නම් මේ නිර්මාණ කරුවා 1973 දී යාපනයේ උඩුප්පිට්ටි හිදී මෙලොවින් සමුගත්තේ ය.)

පරිවර්තනය - රවී රත්නවේල්

චන්දිරම් උසස් පෙළ ගණිත ගුරුවරයෙකි. එහෙත් සරසවියක ගණිතය පිළිබඳ මහාචාර්යවරයකු වීමට තරම් සුදුසුකම් ඔහුට තිබිණි. ඔහු ගේ අරමුණත් එය ම විය.

සුභද්‍රා කල්පනාවක ගිලී සිටියා ය. වැදගත් සිදුවීමක් ඇය සිහියට නඟමින් සිටින බව පෙනිණි.

“මොකෝ, බර කල්පනාවක් වගේ” යි චන්දිරම් ඇසී ය.

“වේම්බඩි ඉස්කෝලෙ මම ඉගෙන ගත්තු කාලේ මතක් කරලා බැලුවා. .. අර ඈත බිත්තිවලට ඉහළින් තියෙන ගොඩනැඟිලි ඔයාට පේනවද?”

”....හ්ම්”

“එහෙ තමයි මම ඉගෙන ගත්තෙ”

“ආ... දැනුයි මටත් මතක් වුණේ, අපේ මංගල්‍යය කතා කරපු වෙලාවෙ ඔයා ඉගෙන ගත්තු කෙනෙක්ය කියලා කියැවුණා. ගොඩක් ඉගෙනගෙන තියෙනවද?"

”තුන්වෙනි වාරයට වෙනකම් ඉගෙන ගත්තා, කේම්බි‍්‍රජ් කනිෂ්ඨ විභාගය පාස්වෙන්න ඕනය කියන කැමැත්තකුත් තිබුණා. ඒත් ඊට කලින් අපේ විවාහය සිද්ධ වුණානෙ.”

”ඒකෙන් ඔයාගෙ බලාපොරොත්තු කැඩෙන්න ඇති නේද?”

”නැහැ” යි කියමින් ඇය හිනැහුණා ය. සඳ එළියෙන් ඇගේ දසන් දිලිසිණි.

”මුතුවන් දත් ඇත්තියේ නුඹ ගණිතයත් ඉගෙනගෙන තියෙනවද?”

”අංක ගණිතයයි, ජ්‍යාමිතියයි ටිකක් විතර ඉගෙනගෙන තියෙනවා

”හොඳයි, එහෙම නම් සමාන්තර රේඛා” කියන එක නිර්වචනය කරමු බලන්න”

”කොච්චර දුරක් ළඟින්ම ගියත් එකිනෙක මුණනොගැහෙන රේඛාවලට තමයි කියන්නෙ සමාන්තර රේඛා කියලා”

”ඔයා කියන එක සියයට සියයක්ම නිවැරැදි නැහැ, මූලික ගණිතය විතරක් දන්න අය ගේ නිර්වචනයක් තමයි ඔයා ඔය කිව්වේ”

”එහෙම නම්, ඔයාගේ නිර්වචනය මොකක්ද?”

”අවසානයේ හමුවන රේඛා තමයි සමාන්තර රේඛා කියන්නේ, මම උසස් ගණිතඥයෙක් ය කියන එක ඔයා මතක තියා ගන්න”යි චන්දිරම් හීන් ස්වරයෙන් කීවේ ය.

”ඔව්.. ඔව්.. ඔයා ඉතින් හොඳ උගතෙක් නෙ”

”ඔයත් ඉගෙන ගත්තු කෙනෙක්නෙ! ඒත් ගෑනියෙකුට පමණට වැඩි ඉගෙනුමක් ඕනෑය කියල මම නම් හිතන්නෙ නැහැ; මගේ දැනුම තේරුම් ගන්න තරම් දැනුමක් ඔයාට තියෙනවා. නමුත් මගේ හැඟීම් තේරුම්ගන්න තරම් ඔයාගේ උගත්කම මදි"

ඒ අසා සුභද්‍රා සෙමෙන් සිනාසුණා ය. ඇගේ මුතුවන් දත් යළිත් හඳ එළියෙන් බැබලිණි. චන්දිරම් දැඩි තෘප්තිමත් හැඟීමකින් නිවස බලා පියවර එසැවී ය. සුභද්‍රා ඔහු පසුපසින් අඩියක හමාරක පරතරයක් ඇතුව ගමන් කරන්නට වූවා ය.

පසුගිය වසර කිහිපය තිස්සේ ඔහු ගේ අවධානය යොමු වී තිබුණේ බිරියට වඩා ගණිතයට ය. ඔහුගේ මේ පිළිවෙත සුභද්‍රා ගේ නොසතුටට හේතු වී තිබිණි.

එහෙත් ඇය වචනයකින් හෝ ඒ බැව් හෙළි නො කළා ය. සීරුවට වසර කිහිපයක පරතරයක් ඇතිව දරුවන් බිහි කළා ය. ඔහු, ඇය සැලැකුවේ යන්ත‍්‍රයක් ලෙසට ය.

චන්දිරම් ජීවත්වූයේ සාමාන්‍ය මිනිසකුට වඩා, සෙස්සන් ගෙන් එහැමපිටින් ම වෙනස් අසාමාන්‍ය මිනිසකු ලෙස ය. නිතර නිතර දිගු පාගමන් ගියේ ය. එබඳු අවස්ථාවල “යාළුවො එහෙම මුණ ගැහුනෙ නැද්දැ”යි බිරිය ඇසූ විට,

”නැහැ. නැහැ, ඒ අය ගැන මගේ ඇල්මක් නැහැ. මම සැරිසරමින් ඉන්නේ ගණිත ප‍්‍රදේශයේ විතරයි” ඔහු කීවේ ය.

චන්දිරම් අසල්වැසියන් සමඟත් නිතර නිතර ආරවුල් ඇති කරගත්තේ ය. සේවකයන්ට කඩා පැන්නේ ය. තම දරුවන්ට ආදරය කිරීම වෙනුවට ඔවුන් ඈත්කර තැබී ය.

 ශුද්ධ ගණිතයෙහි අතිශය සංකීර්ණ ගැටලු පවා පහසුවෙන් විසඳන ඔහුට, සිල්ලර කඩේක තුණ්ඩුවක් නිවැරැදි ව එකතුකර ගැනීම අසීරු විය. කවදා හෝ දවසක තමන් නිව්ටන් කෙනකු හෝ අඩු ම තරමින් රාමානුජම් කෙනකු වනු ඇතැ යි යන සිතිවිල්ල ඔහු ගේ සිතෙහි මුල් බැස ගෙන තිබිණි.

සුභද්‍රා තම සැමියා පිළිබඳ මිතුරියන් සමඟ පුරසාරම් දෙඩුවා ය. එසේ ම ඈ ඒ වන විට ඇගේ මහාචාර්ය සැමියා සෑහෙන දුරකට අවබෝධ කරගෙන සිටියා ය.

 අසල්වැසියන් සමඟ තම සැමියා ගනුදෙනු කරන ආකාරය ගැන ඔවුනට තම කනගාටුව පළ කළා ය. ඔහු ගේ අවශ්‍යතා ඉවෙන් මෙන් හැඳින ඉටුකර දීමෙන් ඔහු ගේ කටයුතු පහසු කළ ඇය, තම දරුවන්ගෙන් ඔහුට බාධාවක් නොවන්නට වග බලා ගත්තා ය.

එසේ කාලය ගෙවීයද්දී චන්දිරම් ගේ හැසිරීම අමුතු විය. ඔහු එකිනෙකට නොගැළපෙන සෙරෙප්පු පයලාගෙන ගමන් ගියේ ය. මිතුරන්ට ගෙදර එන්නැ යි ආරාධනා කොට, ඔවුන් එන වේලාවට කොහේ හෝ ගියේ ය;

 මහා වැසි වසිද්දීත් අවුල් වූ හිසින් යුතු ව දිගු දුරක් සක්මන් කෙළේ ය; ගණිත ක්‍ෂේත‍්‍රය වෙනුවෙන් දැඩි කැපවීමෙකින් වැඩ කෙළේ ය; අලුත් අලුත් පහසු ක‍්‍රම සොයාගෙන ඒවා ශිෂ්‍යයන්ට ඉගැන්වී ය.

ගණිත ගැටලුවල දී වචනවලට බිය නො වී කල්පනාකාරී ව විසැඳුම් ලබා ගත යුතු බැව් ළමයිනට කියා දුන්නේ ය. ජ්‍යාමිතික සූත‍්‍රයන් ඔහු ගේ දිවග නිතොර රැඳී තිබිණ.

තම අරමුණ කරා යන ගමනේ දී චන්දිරම් කිසිදු බාධකයකට මුහුණ නො පෑවේ ය. ගණිත විෂයයට අදාළ අන්තර්ජාතික පරීක්ෂණයෙන් සමත්වීමෙන් හෙතෙම ප‍්‍රසිද්ධියත්, සරසවියක ගණිත මහාචාර්ය පදවියත් එකවර දිනාගත්තේ ය.

සරසවියේ ඇවතුම් පැවතුම් රටාව මහාචාර්ය චන්දිරම්ට නොගැළපෙන බවක් හැඟිණි. ආචාර්ය මණ්ඩලයේ සැවොම පාහේ තම විෂය හා විෂය ක්‍ෂේත‍්‍රයට පමණක් නො ව වෙනත් විවිධ ක්‍ෂේත‍්‍රවලට ද යොමු වී සිටිය හ.

මහාචාර්යවරයාට උපන් ගම වූ යාපනයට වඩා කොළඹ බෙහෙවින් වෙනස් වූ තැනක් විය. කොළඹ ජීවිතය ගැටලුකාරී විය. එහි ජනයා අනෙකා ගේ පෞද්ගලික දේවල් පිළිබඳ බිඳකුත් අවධානය යොමු කළේ නැත.

චන්දිරම් තුළ සෙසු මහාචාර්යවරුන් පිළිබඳ ඊර්ෂ්‍යාවක් ඇතිවිය. ඉතිහාස මහාචාර්ය සුන්දරම් සංගීත කලා ඥානයෙන් පොහොසත් වී සිටියේ ය.

මෙනිසා ම ඔහුට සරසවියේ පැවැත්වෙන උත්සවවල මුලසුන හොබවන්නට ඇරියුම් ලැබිණ. ගණිතය පිළිබඳ කථිකාචාර්යවරයා දර්ශනය පිළිබඳ දේශනා පැවැත්වීමට සමතෙක් විය.

දර්ශන අංශයේ මහාචාර්යවරයා දක්ෂ ලේඛකයකු ලෙස ප‍්‍රසිද්ධියට පත් වී සිටියේ ය. ඔහු ගේ සාරගර්භ දෙසුම් නගරවාසීන් ගේත් ශිෂ්‍ය ප‍්‍රජාව ගේත් පැසසුමටත් පිළිගැනීමටත් ලක් ව තිබිණ. මහාචාර්ය මංගලම් ගිය ගිය තැන පිළිගැනීමට බඳුන් වූ අතර ම කිත් පැසසුම් ලැබී ය.

මහාචාර්ය චන්දිරම්ට සිය ආත්ම වර්ණනාවෙන් කිසිදු ජයක් ලබාගත නො හැකි විය. ඔහු යොමු වී සිටියේ ගණිත අංශයට පමණ ය. එහෙත් නගරය සැබෑව වනසා දමන තරමට ව්‍යාජයෙන් පිරී තිබිණ.

 විවිධාකාර වූ මිනිසුන් තම තමන් ගේ පටු රාමුවලින් පිටතට පැමිණ ජීවන රඟමඩලෙහි කලාව, සාහිත්‍යය හෝ දේශපාලනය යන කුමන හෝ ක්‍ෂේත‍්‍රයකට යොමු වී සිටිය හ.

සරසවි ඇදුරන් ගේ කිසිදු විශේෂ අවධානයක් චන්දිරම් වෙත යොමු නො වී ය. එහෙත් මහාචාර්ය චන්දිරම් සෙසු සගයන් තමාට හිමිවිය යුතු ගෞරවය හිමිකර නොදෙන බව සිතමින් දුක්වීය.

කිසියම් සංගමයක සභාපතිකම හෝ ලේකම්කම භාරගන්නැ යි කිසිවකුත් තමන්ට ආරාධනා නොකරනවා නො වේ දැයි යන ළතැවිල්ලෙන් මහාචාර්ය චන්දිරම් පෙළෙන්නට විය.

තම සගයන් වංචනිකයන් කපටීන් යැයි චන්දිරම්ට සිතිණ. විශිෂ්ට ගණිතඥයා ලෙස මිස, අන් හැකියාවක් චන්දිරම්ට ඇතැ යි ඔව්හු නො සිතූ හ. නවතම ගණිත සූත‍්‍රයක් හඳුන්වා දීමෙන් හෙතෙම ගණිතයෙහි පණ්ඩිතයකු බැව් අන්‍යයන්ට පසක්කර තිබිණි.

 මෙනිසා ම සෙසු ඇදුරන් ගේ ගෞරවාන්විත පිළිගැනීමක් සෙස්සන් අතර චන්දිරම්ට තිබිණ. තමන් නිකමකු නොවන වග තම සුවිසල් දැනුමෙන් හෙතෙම අන්‍යයන් වෙත කියා පෑවේ ය.

ඊළඟ වසර කිහිපය මහාචාර්යවරයාට බෙහෙවින් අවිවේකී විය. අලුත් සොයාගැනීමක් වෙනුවෙන් හෙතෙම දැඩි උත්සාහයක යෙදී සිටියේ ය. එහෙත් එය එතරම් පහසු කටයුත්තක් නො වී ය.

”මං නම් හිතන්නෙ අපේ පැරැන්නො හැම ගණිත සූත‍්‍රයක්ම හොයාගෙන ඉවරයි, අලුතෙන් හොයා ගන්න තරම් සූත‍්‍රයක් ඉතිරිවෙලා නැහැ.” චන්දිරම් දිනක් තම මිතුරකුට කීවේ ය.

’මේකනෙ මහාචාර්ය තුමෝ, ඔයාල කළුලෑල්ල උඩ සමකෝණ ගැන උගන්නන කොට, ලෝකය ඕගොල්ලන්ව පහුකරගෙන හුඟක් දුර ගිහිල්ලා. ඔබ තුමා ජීවිතේට මීට වඩා ඇල්මක් දක්වන්නෙ නැත්තෙ ඇයි. මෙහෙම කෙනෙක් අපි අතරෙ ඉන්නවා කියලා හරි මිනිස්සු දැනගන්නෙ එතකොටනෙ”

”එහෙමම කියන්නත් එපා” චන්දිරම් තරමක උස්හඩින් නොරිස්සුම් සහගත ස්වරයෙන් කියමින්, තම සගයා දෙස රවා බැලී ය.

”ඔයා දන්නවද මම නිකමෙක් නෙවෙයි උගතෙක්”යි ගුගුළේය.

”ඔයා කියන දේ ඇත්ත වෙන්නත් පුළුවන්. නමුත් මේ ලෝකෙ කොච්චර ආකර්ෂණීය වුණත් මගේ හිත ගත්තෙ ගණිතයයි, අන් සියල්ලටම වඩා ප‍්‍රබල ගණිතය ය කියන එකයි මගේ පිළිගැනීම”යි හෙතෙම කීවේ ය.

සෙසු ආචාර්ය මහාචාර්යවරුන් ළමයින් සමඟ අතේ දුරින් කටයුතු කරද්දී චන්දිරම් තම සිසුන් ළඟින් ඇසුරු කෙළේ ය. එබඳු ඇතැම් අවස්ථාවල ඔහු තමන් පිළිබඳවත් තමන් සිතින් මවාගෙන ඉන්නා තම දරු දුසිම පිළිබඳවත් විහිළු තහලු කෙළේ ය. ඔවුන් සමඟ සාමීචියේ යෙදුණේ ය.

දිනක් හිටි අඩියේ මොරසූරන මහා වැස්සක් ඇද හැළිණි. දේශනාගාරයේ උළු වහළ යටින් වැසි වතුර රූටා වැටෙන්නට විය. පංති කාමරය තෙමෙන්නට වූයෙන් මහාචාර්යවරයා මෙසේ කීවේ ය.

”විශේෂවේදී පංතියක නම් ළමයි ටික දෙනයි ඉන්නේ. මේ වගේ් වැස්සෙන් බාධා එන වෙලාවක ඒ අයව ගෙදර එක්කගෙන යන්න තිබුණා උගන්වන්න. ඒත් මෙතන සීයක් විතර ඉන්න හන්දා ඔයාලව ගෙදර එක්කං යන්න විදිහකුත් නෑ.” ඊටත් මගේ ගෙදරත් සාමාන්‍ය පංතියකට තරම්ම ළමයි ඉන්නවනෙ”යි කියමින් හෙතෙම තම පවුල ම හාස්‍යයට ලක් කෙළේ ය.

තවත් දේශනයක දී හෙතෙම මෙසේ ඇසී ය. “මගේ දරුවන්ගෙන් ගෑනු දරුවයි, පිරිමි දරුවයි වෙන්කර ගන්නෙ කොහොමද කියා මට කියන්න පුළුවන්ද?” මෙබඳු අවස්ථාවල සිසුහු මහාචාර්යවරයා සමඟ එක් ව විහිළුතහළු කරගැනීම සිරිතකි. ඇතැම් අවස්ථාවල දී එය සීමාව ඉක්මවා යෑම ද සිදු වේ.

එහෙත් ඔහු දරුවන්ට ගණිත දැනුම ප‍්‍රසස්ත මට්ටමින් ලබාදුන්නේ ය. විටින් විට විභාග පවත්වන්නට විය. පොහෝ දිනයන්හී තම ගෝලයන් කැටුව හඳ එළියේ සැරිසරමින් ම ගණිත ගැටලු සාකච්ඡා කෙළේ ය. බොහෝ විට ඔහු ගේ විභාග පැවැත්වූයේ සහාය කථිකාචාර්යවරුන් ය.

 එහෙත් වරක් මහාචාර්යවරයා ම විභාගය පවත්වමින් සිටියේ ය. සියලු ම සිසුන් දැඩි ඕනෑකමකින් පිළිතුරු සපයන්නට වූහ. එහෙත් එක් සිසුවකු පමණක් තම පිළිතුරු පත‍්‍රය හිස්ව තබාගෙන සිටියේ ය. ඔහු එසේ සිටිනුයේ දැනුමක් නැති නිසා විය නො හැකි ය. එක්කෝ පිළිතුරු දිය යුතු ය. නැතිනම් ශාලාවෙන් ඉවත් විය යුතු ය. එහෙත් ඔහු ඒ කිසිත් නොකෙළේ ය.

මහාචාර්ය චන්දිරම් ගේ නෙතට මේ ගෝලයා හසු විය. ඔහු ඒ ශිෂ්‍යයා දෙසට පියවර මැන්නේ ය. සිසුවා තැතිගත් මුවපොව්වකු සේ ගැහෙන්නට විය. ඔහු ගේ උත්තර පත‍්‍රයේ පේළි දෙකක් හැර අන් සියල්ල ම හිස් ව තිබිණ.

 මහාචාර්යවරයා තමන්ට ළංවනු දුටු ඒ ශිෂ්‍යයා තම උත්තර පත‍්‍රය අත්ලෙන් වසා ගන්නට වෑයම් කෙළේ ය. මහාචාර්ය චන්දිරම් සිසුවා ගේ දෑත් ඉවත්කර උත්තර පත‍්‍රයට එබී බැලී ය. පළමු පේළිය ඔහු ගේ නෙත ගැටිණ.

”මහාචාර්ය චන්දිරම් + ගණිත ශාස්ත‍්‍රය = අනන්තය

එය දැක සතුටින් ඉපිළ ගිය හෙතෙම පියවර මත පියවර තබමින් ශාලාව වටා කිහිප වරක් ගමන් කෙළේ ය. මොනරකු ගේ ආඩම්බර විලාසය පාමින් වේදිකාවට ගොඩවූ හෙතෙම දැඩි සතුටක ගිලී සිටින බැව් පෙනිණි.

”නිව්ටන්, රාමානුජම්, චන්දිරම්” යන නම් තුන නැවත නැවතත් හඬ නඟා ප‍්‍රති උච්චාරණය කෙළේ ය. ක්ෂණයෙන් කල්පනාවකට වැටුණු හෙතෙම හනිකට වේදිකාවෙන් බැස එකී ශිෂ්‍යයා අසලට ගියේ ය. ඔහු ලියා ඇති අනික් වාක්‍යය පෙන්වන්නැ යි කීවේ ය. ඒ ඇසීමෙන් බියට පත් ශිෂ්‍යයා පිළිතුරු පත‍්‍රය නැවීමට උත්සාහ කෙළේ ය. එය දුටු චන්දිරම්

”එහෙම කරන එක හරි නැහැ. ඕක මෙහෙට දෙන්නැ”යි කීවේය. ශිෂ්‍යයා තම පිළිතුරු පත‍්‍රය මහාචාර්යවරයා වෙත දිගු කෙළේ ය. එය අතට ගත් මහාචාර්යවරයා එය කියැවී ය.

”මහාචාර්ය චන්දිරම් – ගණිත ශාස්ත‍්‍රය = බිංදුවයි”

චන්දිරම් ගේ මුහුණ අඳුරු විය. සිතේ හටගත් පීඩනය හේතුවෙන් ශිෂ්‍යයාට බැණවැදීමට පවා නො හැකි තත්ත්වයකට ඒ එක පේළිය ඔහු බිමට ඇද දැමී ය. සකල සබ්බය ම අහිමි කරගත්තකු සේ ඔහු එතැනින් පිට ව ගියේ ය. ශක්තිමත් සෞඛ්‍ය සම්පන්න සිසුන් ගෙන් පිරි ශාලාවක තමන් සිටින්නේ අංගවිකලයකු ලෙසිනැ යි ඔහුට සිතිණි.

සරසවිය ඔහු ඒ තැනට හකුලවා තිබිණි.

පුන් පොහෝ සඳ සරසවි බිම පෙදෙස සුදුවතින් සරසා ලී ය. සුභද්‍රා මුස්ලිම් ගැහැනියක ගේ ඇඳුමින් සැරැසී සිටියා ය. එහි ඔබ මොබ ඇවිදිමින් සිටි උදවිය සැහැල්ලු ඇඳුම් ඇඟලා ගෙන සිටිය හ. සුභද්‍රා පියවර මැන්නේ සැමියාට අඩි භාගයක් පමණ පසුපසිනි.

ඇගේ ඇඳුම ලිහිල් කොට සුළඟට මුදා හැර තිබිණ. රැයෙහි සිහිල් සුළඟ ගත සනසන්නට විය. හදිසියේ ම චන්දිරම් ඇයට අඬ ගැසී ය.

”කොහෙද ඔයා ඉන්නෙ”

”ඔයා ළඟමයි, පිටිපස්සෙන්” .

”මහාචාර්ය චන්දිරම්ට ගණිත ශාස්ත‍්‍රය එකතු කළොත් ප‍්‍රතිඵලය මොකක් වෙයිද?”

සුභද්‍රා අන්දමන්ද වූවා ය. අනන්තය යන වදන ඇයට හුරු නැත. ඇගේ ගණිත දැනුම එතරම් පුළුල් එකක් නො වී ය. එහෙත් ඔහුට ගණිත ශාස්ත‍්‍රය එකතු කළහොත් සීමාවක් දැක්විය නො හැකි යමක් ඇතිවන බව ඇය දැන සිටියා ය. සුභද්‍රා තමාට වැටහෙන අයුරින් එය පහදා දෙන්නට තැත් කළා ය.

”ඒක මේ ලෝකය එහෙමත් නැතිනම් සාගරයටත් වඩා විසල් එකක් වේවි”

”ෂා.. ඉතාමත්ම නිවැරැදි උත්තරයක්” චන්දිරම් ඈට ප‍්‍රසංසා කෙළේ ය. ප‍්‍රියජනක බැල්මකින් ඇය වැලැඳ ගත්තේ ය.

ලජ්ජාවෙන් ඇගේ හිස බිමට බරවිය. පොදු ස්ථානවල දී විනීත ව හැසිරීමට ඇය ප‍්‍රිය කළා ය. චන්දිරම් ඇයට උසුළු විසුළු කෙළෙන් ඇගේ මුහුණ විළියෙන් රත් පැහැ ගැනිණ.

”මොකෝ අද මෙයා අලුත් විදිහක්?” යැයි ඇයට සිතිණ. 'නැහැ නැහැ එහෙම එකක් නැහැ. එයා ප‍්‍රාඥයෙක්නෙ ඒකයි මේ’යි සිතමින් ඇය තම සිතිවිල්ල නිවැරැදි කරගන්නට වූවා ය.

”සුභද්‍රා”

”ඇයි මහාචාර්යතුමෝ”

”එහෙම නම් දැන් කියන්න බලන්න මහාචාර්ය චන්දිරම් ගෙන් ගණිත ශාස්ත‍්‍රය අඩු කළොත් උත්තරය මොකක් වෙයිද කියලා”

තම තොල්වල මඳහස තවරා ගනිමින්ම “ඒකට නම් ලේසියෙන්ම උත්තරයක් දෙන්න පුළුවන්”යි කී සුභද්‍රා ”මගේ ආදරණීය මහාචාර්යතුමෝ, ගණිත ශාස්ත‍්‍රය නැහැ කියන්නේ ඔබතුමා “හිස්” ඒ කියන්නෙ බිංදුවයි කියන එකනේ”යි කී වාය. ඇගේ පිළිතුරෙන් සෑහීමකට පත් චන්දිරම් ඇය ප‍්‍රශංසා කරනු ඇතැයි සිතුවා ය. එහෙත් සිදුවූයේ ඇය කිසිසේත් අපේක්ෂා නොකළ දෙයකි.

චන්දිරම් කෝපයෙන් වෙව්ලුම් ගත්තේ ය. කටට ආ වචන කියමින් හෙතෙම සුභද්‍රාට බැණ වැදුණේ ය. අතපය මිටි මොළවමින් ඇයට පහර දෙන්නට ඈ වෙත කඩා පැන්නේ ය.

එවෙලෙහි එහි සිටි කිහිපදෙනකු වහා පැන මහාචාර්යවරයා වටකොට ගත් හ. “චන්දිරම්ට පිස්සු හැදිල”යි එකෙක් කීවේ ය. තවකකු කීවේ ප‍්‍රාඥයන් ගේ මානසික පීඩනය නිසා මෙසේ හැසිරෙන බව ය. ඇතැම් තරුණයන් විහිළු කෙළේ මහාචාර්යවරයා ශිව තාණ්ඩව නැටුමක් නටනවා කියා ය.

මිතුරියක පැමිණ සුභද්‍රා තමා අසලට ඇද ගත්තා ය. තමා අවට සිටියවුන් පැත්තකට තල්ලු කර දමමින් උපකුලපතිවරයා වෙත දිව ගිය චන්දිරම් තමන් ගේ ප‍්‍රශ්න දෙකට පිළිතුරු දෙන්නැ යි කීවේ ය. ඔහු තම අතපය වනමින් පැරැණි නළුවන් ගේ අභිනය පාමින් හැසිරුණු ආකාරය හාස්‍යජනක විය.

එහෙත් මහාචාර්ය චන්දිරම් ගේ ප‍්‍රශ්නයට උත්තරයක් දීමට උපකුලපතිවරයාට නො හැකි විය. බියෙන් තැතිගත් උපකුලපති ගේ උගුර කට වේලී ගියේ ය. වචන පිට නොවිණි. උපකුලපති ගේ බිරිය බියෙන් භ‍්‍රාන්ත වූවා ය.

උපකුලපතිවරයා තමා අස්වසාගනිමින් ම තම සේවකයකුට කථා කෙළේ ය. චන්දිරම් එම ස්ථානයෙන් පිට කර ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට ඔවුනට සිදුවිය. අවසානයේ සේවකයන් පිරිස එක් ව බලහත්කාරයෙන් ම මහාචාර්යවරයා ඔසවාගෙන ගොස් කුලී රථයකට පැටවූ හ. උපකුලපතිවරයා රියැදුරු අසල අසුන් ගත්තේ ය.

”කෙලින්ම පිස්සන් කොටුවට යමු”යි රියැදුරුට කී ය.

සිහිල් සඳඑළිය අතරින් සුභද්‍රා ඇගේ මිතුරියන් විසින් නිවසට කැන්දාගෙන යනු ලබන අයුරු චන්දිරම්ට පෙනිණි. ඔහු කන් අඩි පැළෙන්නට මොර ගෑවේ ය.

”අනේ සුභද්‍රා.. සුභද්‍රා”

”දැන් නම් ඔයාට එයාව බලන්න පුළුවන්කමක් නැහැ"යි කුලපතිවරයා දැඩි ස්වරයෙන් කීවේ ය.

”හරියටම හරි, මම එයාව අනන්තයේදී හමුවෙන්නම්”, මහාචාර්යවරයා මිමිණුවේ ය. කළුවලාකුළක් සඳ ගිල ගන්නට වෙර දරනු පෙනිණ.

ගනඳුර ගලාවිත් යන මඟ වසාලී ය. අඳුරට බිය වූ මහාචාර්යවරයා ආවේශ වූවකු සේ දැඟලී ය. රියැදුරු තැන විදුලි වේගයෙන් මානසික රෝහල කරා රිය පැදවී ය.

https://archives.silumina.lk/punkalasa/20080120/_art.asp?fn=ar0801202

Reply all
Reply to author
Forward
0 new messages