කෙටි කතාව 13

12 views
Skip to first unread message

Nissanka Rajapaksa

unread,
Jul 9, 2025, 8:16:36 PM7/9/25
to INDRAKA group
1
මංමුලාව
 
- ලක්ෂ්මී අබයසේකර

ආහාර ප්‍රශ්නය නිසා නවාතැන වෙනස් කිරීමත් සමග මට අලුතෙන් ප්‍රශ්න කීපයක් ඇතිවිය. ගමනා ගමන ප්‍රශ්නය ඉන් වැදගත්ම එකය. රැකියාව සඳහා උදේ හවස බසයෙන් එම මාර්ගයේ ගමන් කරන්නට වීම මා සිතුවාට වඩා බරපතල කාරණයක් විය. පාර අයිනේ දැස අයාගෙන බලා සිටින මිනිසුන් නොදැක්කාසේ ඇදීයන බස් රථ හිතට කේන්තියක් ගෙන දිනි. පොල්පැටෙව්වා සේ තද බදවු බස් රථයකට අන් අය තෙරපාගෙන මිරිකාගෙන ගොඩවීම එක්තරා විදිහක යුද්ධයක් විය. ඉදිරියෙන් සිටින්නා ගැන හෝ පසුපසින් සිටින්නා ගැන හෝ හැඟීම් මාත්‍රයකින් හෝ සිත නොවෙහෙසා බසයට ගොඩවිය යුතු බව මා හොඳින් අවබෝධ කරගන්නේ එහිදී ය.

හැන්දෑවේ පුරහලේ දිගු බස් පෝලිමේ කොතෙකුත් වෙලාවක් හෝ කාලය කාදමා බලා සිට බසයක වාඩිවී යාමට මගේ සිත වඩාත් කැමතිවිය. තුරු අතර රාත්‍රිය ගෙවීමට සැරසෙන කපුටන් නිදැල්ලේ විසුරුවා ලන වසුරු වලින් බේරෙන්නට මහංසි ගනිමින් පෝලිමත් සමග ඉදිරියට ඇදී බස් රථයකට රිංගා අසුනක් ලබා ගැනීම දවසේ ජයග්‍රහණයක් ලෙස සලකන ලද තත්වයකට කෙමෙන් සිත පත්වී තිබිණි.
මෙවැනි හැන්දෑවරුවක හදිසියේම වාගේ ඇය මා නෙත ගැටිණි. වරක් අහම්බෙන් නෙත ගැටුන ඇගේ වතට තවත් දිගු බැල්මක් හෙලන්නට මා  පොලඹවන ගතියක් ඇගේ වතෙහි විය. හැම ගැහැණියක්ම සහෝදරියක්, මවක් ලෙස හිතන්නට පුරුදු කළ මගේ හිත එකවර ඇය නිසා සසල වී නොගිය බව ඇත්තය. ඈ වෙතට නෙත අද්දවන ගතිය රැඳුනේ ඇගේ මුහුණේ තවරා තිබූ ආලේපන වල ආනුභාව මතදැයි හරියටම කියන්නට මට අසීරුය ඇගේ නෙත් බැමි දෙනෙත් දෙතොල් ආලේපන වලින් මනාව හැඩගන්වා තිබිනි. ඇගේ දෙකොපුල්වල ටික මොහොතකට කලින් ගැල්වූ ආලේපන නිවෙන ඉර එළියට හාදු දෙමින් සිටියි. දෙපසට පීරා හරින ලද වරලින් මිදී නලලත හා දෙකපුල දඟකෙරූ කෙස් රොදවල් ඈ දෙස බලන්නෙකුට තවත් බැල්මකට ආරාධනා කරනා සේය .මගේ නෙත්වල බැල්ම දිගු වැඩිදැයි මට සිතුනේ ඇගේ දැස් මනෙත් වල පැටලුන පසුවය. ඇය විමසුම් සහගත බැල්මක් මවෙත හෙලුවාය.

මම ඇගේ වතේ තවරා තිබූ සියලු ආලේපන සිතින් සෝදා හරින්ට වූයෙමි. ඒනෙත් දෙතොල්
දෙකොපුල් අලේපන වලින් තොරවු කල කෙබදු විය හැකිදැයි මසිත සිතුවම් කීපයක් ඇඳ බලන්නට විය.
ගමනාන්තය දක්වාම එකම සිතුවිල්ලක් බවට පත්වී සිතුවිලි සාගරයක් මවමින් ඈ මගේ සිත තුල සැරිසරන්නට වූවාය. ඇය ගමෙන් නගරයට පැමිණ නගරයේ ඇබ්බැහිකම් සියල්ල එකවර වැළඳ ගත් එකියක් විය හැකි යයි මට විටෙක සිතිනි. බසයෙන් බැසයන තුරුද විඩාවක් නොවන පරිද්දෙන් ඇය මගේ සිතේ සැරිසැරීම ආශ්වාදයකි . තෙරපි මිරිකී හෙම්බත් සිරුරුවලින් ගලා එන දහදිය මිශ්‍ර  ගඳ දැරීම අතිශයින් දුෂ්කර වන මෙවැනි මොහොතක කුමක් හෝ නැවුම් සිතුවිල්ලක් සිතට ඇතුල්වීම හොඳ ය.

දෙවන දිනයේ පුරුද්දට වාගේ මගේ දැස ඈ සෙවීය. පෝලිමේ පසු කොනක නගර සභාවෙන් එපිටට බැල්ම මුදාහැර සිටි ඇය තත්පර කීපයකට පසු මගේ බැල්මට කොටු වූවාය . හැඟීමකින් තොරව නැවත ඉවත බලාගත් ඇය මහපාරේ ගලායන මිනිස් ගඟදෙස බලා සිටින්නට විය.
ඇය හැඳ සිටියේ තැඹිලි පැහැ සාරියකි. ඇගේ බඳට එය මනාව ගැලපිනි .උඩුකයෙන් වැඩි කොටසක් නිරාවරණය වන පරිද්දෙන් හැට්ටය හැඳ සිටි ඇය එදා මුදුනට වන්නට කුඩා කොණ්ඩයක් බැඳ සිටියාය. රිදීපාටට හුරු සිහින් මාලයක්ද ඊට ඇමිණු රතු පැහැයට හුරු කදිම මාල පෙත්තක් ද ඇගේ ගෙල හැඩ කර තිබිනි. ඇගේ දිගු ඇඟිල්ලක රතුපාට ගලක් සහිත රිදී පාට මුදුවක් විය. ඇඳුම් පැලදුම් තෝරා ගැනීමේදී ඇය බෙහෙවින් සැලකිලිමත් වන බව පෙනෙන්ට තිබිනි.
එහෙත් ඇගේ නියවල තවරා තිබූ තද රතු පාට වර්ණය නම් කිසිසේත් මගේ සිත් ගත්තේ නැත. කිසි දිනක ගැහැණියකගේ ඇඳුම් පැළඳුම් ගැන මා මෙතෙක් උනන්දුවක් දක්වා නැත. එය ගැහැණුන්ට අයිති කාර්යයක් ලෙස සිතන්නට මම පුරුදු වී සිටියෙමි. මගේ සිත අලුත් වෙනසකට භාජනය වී ඇද්දෝයි මටම මා ගැන සැක සිතෙන්නට විය.

ඈ දැකීම මට මගේ සිත සමග පිළිසඳරකට ඉඩක් ලබා දෙන තරමට කෙමෙන් ඇය මගේ සිතුවිලි වලට සමීප වී සිටියාය. සාප්පු වල ප්‍රදර්ශනාගාරවල ඇති විවිධ හැඩයේ කාන්තා රූප දුටු කල දැනෙන අපූර්ව හැඟීම ඇය දකින කල මගේ සිතේ ඇතිවිය. එහෙත් මේ වෙනවිට මගේ දිගු බැල්මෙන් ඈ කිසියම් කැලඹීමකට පත්ව ඇතැයි ද මට දැනිනි .ඇගේ කෙටි බැල්ම කිසිවක් ඉව කරමින් සිටින බව දැනුනද මම ඒ ගැන නොතකා හැරියෙමි.

ඇයට නමක් තෝරා ගැනීම මගේ ඊලග කාර්යය විය. ඇගේ බාහිර පෙනුමේ හැටියට ඇයට ශෝභා හෝ ආශා ලෙස නම් කල හැකිය. එහෙත් ඇය යසෝදරාවක් හෝ අනුලා බිසවක් වැනි ගැහැණියක්ද විය හැකියි. එහෙත් මේ වෙනතුරුත් ඇගේ බාහිර පෙනුම ගැන මිස අභ්‍යන්තර ජීවිතය ගැන සිතන්නට මට ඕනෑ වී තිබුනේ නැත. ඒ නිසා අවසානයේ මම ඇයට ශෝභා කියා නම යොදා ගන්නට තීරණය කලෙමි.
       " අද ශෝභා තාම ඇවිල්ල නෑ "
        "  ශෝභට නම් සීට් එකක් ලැබිලා "
වචනයක්වත් කතා බහ නොකලද නාම මාත්‍ර යකින් පවා දැන හඳුනා නො සිටියද සිතින් ශෝභාව හා දීර්ඝ පිළිසදරවල යෙදුන වාර අනන්තය. ශෝභාගේ බැල්මෙන් සිනාවෙන් මා ලැබූවේ හේතුවක් නොදැන හිටි ආශ්වාදයකි.
එහෙත් කවදා හෝ මගේ පෙම්වතිය බිරිඳ විය යුතු මෙබදු ගැහැණියක යයි මා සිතේ ඇඳී තිබූ රූපයකට ශෝභා ගව්ගානකින් වත් ලං නොවූවාය. එම ගැහැණියගේ කතාව බැල්ම සිනාව ඉරියව් බාහිර පැවැත්ම ඇඳුම් පැළඳුම් ශෝභාගේ පැවතුම්වල සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ පැත්ත වෙයි. ඉතින් මා සිත ශෝභා ගැන වෙහෙසෙන්නේ ඇයි? ඇය දැකීමෙන් මා ලබන ආස්වාදය කුමක්ද? පිලිතුරක් නැති මේ ප්‍රශ්න ගැන සිතීම මම පසුව අතහැර දැමුවෙමි.

එය කදිම හැන්දැවක් විය. අහස පුරා ඉහිරි ගිය පාට පාට වළා රොදවල් වලින් බේරි එන සිහින් ලා රන් එළිය නගර සභා පිටියේ නිල් තණ නිල්ල මත විසිරී තිබින. බස් නැවතුමට පැමිණි මොහොතේම බසයකට ගොඩවී අසුනක් ලබා ගැනීමට හැකි වීම අද සාර්ථක දවසකැයි යන සිතුවිල්ල මගේ සිතට ඇතුල් කර තිබින. දහදියෙන් හා විඩාවෙන් හෙම්බත්ව ගිය මුහුණු දෙස දෑස රඳවගෙන මම කල්පනාවක නියැලී සිටියෙමි. බසය පිටත් වන මොහොතේ නෙත් හරවා මම වටපිට බැලීමි. මගේ සිත තිගැස්සී කැළඹීගිය බව මට හොඳටම විශ්වාසය . ඈ ශෝභා මගේ අසුන ළගම සිටගෙන සිටින්නීය. මගේ නෙත හමුවෙත්ම පරිස්සමින් තෝරා ගත් සිනාවක් ඇගේ දෙතොලතර පිපී සැලිනි. ඒ සිනාවේ ඇති හැඟීම් තෝරා නොගෙනම මම පුළුල් ලෙස ඇය හා සිනාසුනෙමි.
ශෝකයකට හුරු හැඟීමක් ශෝභාගේ වතත් සමග මගේ සිතේ තැන්පත්වී ඇති බව මට මුලින්ම දැනුනේ එදිනය. මග නොදැන කිසිවක් සොයා යන ගැහැණියක් ගැන ඇතිවන හැඟීමකින් එය වෙනස් වී යැයි මට නොසිතේ. එදා බසයෙන් බසින මොහොත දක්වාම ඈ රිසි පරිද්දෙන් මගේ සිතේ සිතුවිලි ඇති කළාය. නැති කළාය.

එයට පසුදින සතියේ අන්තිම කාර්යාලීය දිනය විය. මා එදා කාර්යාලයෙන් ආවේ වෙනදාට වඩා මඳක් පමාවය. ශෝභාගේ නොඉවසිලිමත් දෙනෙත් මගවිපරම් කරමින් සිටිනවා මට පෙනිනි. ශෝභා එදා වෙනදාටත් වඩා කදිමට සැරසී සිටියාය. කාර්යාලයෙන් පිටවෙන්නට පෙර ඇය හැඩ වැඩ වෙන්නට ඇතැයි මට සිතුනේ ඒ මුහුනේ කිසිදු විඩාවක් දැවටී නොතිබුන බැවිනි. ඇගේ වතේ දැවටෙන තරමට ලංවී සිටි ඒ තරුණයා කිසිවක් ඇයට විස්තර කර දෙමින් සිටියේය. දෙතොලතර දවටාගත් සිහින් මදහසක් ඇතුව විමසිලිමත් දෑස හැම අතම විහිදවමින් ඈ ඔහුට කන්දෙන ලෙසක් පෙනෙන්නට තිබිනි. ඇගේ ඉලක්කයට මා ලක්වූ ඇසිල්ලේම ඇය ඇගේ දෙනෙත් ඔහුගේ දෙනෙතෙහි නතර කර කිසිවක් මුමුණන්ට විය. ඔවුන් නොදුටුවා සේ ඉවත බලනවාද නැද්ද යන්න ගැන සිතන්නට මා වෙහෙසෙද්දී ඔහු තරමක දැඩි බැල්මක් මවෙත හෙලීය . කඩිසර ගැහැණු ඇස්වලින් ශෝභා තම පෙම්වතාත් මාත් කිරා මැන බලමින් සිටියායැයි මට සිතිනි. ඔහුගේ රැළි ගැසුන කදිමට පීරා තිබූ කෙස්වැටියත් පරිස්සමට කපා සකස්කර තිබූ රැවුලත් කිසියම් ජනප්‍රිය චිත්‍රපට නළුවකු සිහි ගැන්වීය. ඇත්තටම ඔහු බාහිර පෙනුමෙන් ශෝභාට මනාව ගැලපින. ඇඳුම් පැළඳුම් ගැනද ඔහු ශෝභා තරමටම නැතත් මා වැනි පිරිමින්ට වඩා සිත යොදවන බව බැලූ බැල්මට පෙනෙන්නට තිබිනි.
ශෝභා බසයට නගිනතුරු එහි රැඳුන ඔහු එතනින් පිටත්වූයේ මා ගණන් නොගන්නා එහෙත් මා ගණන්ගත් බව සක්සුදක් සේ පැහැදිලි ඉක්මන් බැල්මක් හෙලාගෙනය. මේ කදිම විහිළුවට සිනාසෙන්නට මට ඕනෑ වී තිබුනමුත් දෙවනවර ඇතිවූ සිතුවිල්ලකින් වෙලනු ලැබ මම ඔහු නොදුටුවාසේ ඉවත බලා ගතිමි. එදා බසයේදී ශෝභා වරක්වත් මා දෙස බලනු මම නොදුටුවෙමි. සිත සමග කිසියම් සම්මුතියකට එළඹියාසේ ඈ කවුළුවෙන් එපිටට බැල්ම මුදා හැර කල්පනාවක ගැලී සිටියාය. ඈ පහුගිය දිනවලදී සිත හා කිසියම් සටනක් කලාද යන සැකය එවෙලේ මට ඇතිවිය. මගේ අතේ ඇති කන්තෝරු බෑගයේ අගයට මගේ කලිසමේ කමිසයේ වටිනාකමට අතබැඳි ඔරලෝසුවට පසුබිමිබියේ තිබිය හැකි මුදලට කතා බහ ගමන හා බාහිර පෙනුමට ඇය අඩු වටිනාකමක් දෙන්නට මහංසි ගත්තා විය හැකිය. ඇගේ පෙම්වතා විය හැකි ඒ තරුණයා හා නමින්වත් නොදන්නා මා වැනි ආගත්තුකයකු අතර කෙසේ නම් සැබෑ පෙම්වතියක සිතෙහි ගැටුමක් ඇතිවිය හැකිද? එය එසේ වීම අස්වාභාවික ද? අවසානයේ ඈ ඇගේ පෙම්වතා මට පෙනෙන්ට සැලස්වූයේ තම ජාගර සිතෙන් ගැලවීමට ද ? මගේ බැල්මෙන් වැලකීමට ද ?නැතිනම් තරඟයක් කර ජයගන්නා ලෙස මා පෙළඹවීමටද? ඈ මෙයින් කුමක් අදහස් කලාද යන්න නිවසට පැමිණි පසුවත් මගේ සිත විමසමින් තිබිනි. එදා ඒ දිගු රාත්‍රියේ මෙතෙක් වෙන කිසියම් ගැහැණියක් මෙතෙක් මා සිත නොකැලඹවූ තරමට ශෝභා මගේ සිත කැලඹවීය. මගේ සිත මටම වටහාගත නොහැකි තරමට අවුල්වී ඇති සෙයක් මට දැනිනි.

අන්තිමට මේ නිශ්ඵල සිතුවිලි වලින් ඈත්විය යුතු බවට මගේ සිත මට අනතුරු අඟවන්නට විය. එහි තේරුම කුමක්ද? ශෝභාට මගේ සිතට බලපෑමක් කල හැකි බව නොවේද? තවත් කාලයක් ගියොත් මගේ සිත මුළුමනින්ම ශෝභාට අවනතවන බවද? එය එසේ නොවෙතැයි සිත හඬගා කීවද කිසියම් අවුලක් සිදුවන බවට ඉවක්ද මට දැනේ.

සතියක් පුරාම මම ඕනෑකමින්ම ඈ මග හැරියෙමි. කිසියම් ව්‍යවසනයකට බයේ පලා යන්නකු සේ ශෝභාගෙන් සැඟවෙන්නට උත්සාහ කල බවක් මට දැනින. ශෝභාගෙන් සැඟවී යන්නට මා දරණ තැතම තවත් එක් ආකාරයකට ගනිතොත් ඈ මගේ සිතුවිලිවලට ඉලක්කයක් වී තිබිනි.

ඊලඟ සතියේ මා දකින විටම ශෝභා ලස්සන සිනාවකින් මට සංග්‍රහ කළාය.. කාලයක් මුළුල්ලේ මා වෙනුවෙන්ම ඒ හිනාව දෙතොලතර රඳවා සිටි සෙයක් මට දැනිනි. ඇගේ අසුනේ ඉතිරි ඉඩ මා වෙනුවෙන්ම තබාගත් ලෙසින් මා බසයට ඇතුල්වෙත්ම ඈ අස්නේ කවුළුව දෙසට ඇදුනාය. මම සිහින් සිනාවක් ඇතුව ඈ ලඟ අසුන් ගතිමි.

නොඉවසිලිමත් බැල්මක් සමග ඈ දෙවන වරටත් මා හා සිනාසුනා ය. මා කිසිවක් විමසිය යුතු බව කතාවට මුල පිරිය යුතු බව ඒ සිනාව මට හැඟවීය. පටන්ගත යුතු කවර මාර්තෘකාවක් යටතේ දැයි මට හරියටම අවබෝධයක් නොවුවත් ඕනෑම වෙලාවක පොදු මාර්තෘකාවක් බවට පත්වන අව්ව හා වැස්ස වහා මට සිහිපත් විය.
කවුළුවෙන් එපිටට බැල්ම මුදාහැර මම අඳුරු වූ අහස දෙස බලාගෙනම කතා කලෙමි.
               
            "    අදත් හොඳට වහින්න වගෙ "
ඈ අනුමත කරන බැල්මක් හෙලුවාය. එයින් මගේ අදහස අනුමත කලාද නැතිනම් මගේ ආරම්භය අනුමත කළා ද යන්න මට හරියටම කිව නොහැකිය.
         
   "    හැමදාම වැඩ ඇරිල යන්නෙ හොඳටම තෙමීගෙන "
ඈ වචන හැසිරවූයේ ලතාවකටය. ඇගේ ඇඳුම් පැළඳුම් ගමන බිමන මෙන්ම කතා විලාශයද පරිස්සමින් තෝරාගත් ලෙසකි. ඇය හා කතා බහ ප්‍රියමනාප විය. පොදු මාර්තෘකා තෝරා ගෙන අපි ගමන අවසානය දක්වාම සුහද කතා බහක යෙදී ආවෙමු.
නමින් සුජාතා වුවද ඇය ශෝභා ලෙස දිගටම මගේ සිතුවිලි අතර රැඳී සිටියාය.
මටද නොදැනෙන පරිද්දෙන් ශෝභා මා තුළත් අපේ සුපුරුදු මගීන් තුළත් කිසියම් ආකල්පයක් ගොඩ නැගෙන්නට ඉඩ දෙන ලෙසක් මට හැඟී ගියේ මදක් පමා වීය. බසයේ මා වෙනුවෙන් අසුන ඉතිරි කරගන්නටත් මා එන මග බලා සිටින්නටත් පුරුදු වූ ඇය ඒ ක්‍රියාවලිය පෙරලා මගෙන් ඉටුවන තැනටද මගේ සිතැඟි මෙහෙයවා තිබුනාය.

ශෝභාගේ පෙම්වතා පිළිබඳ ඈ කිසිදිනක සඳහන් කළේ නැත. විහාර මහා දේවි උද්‍යානය මැදින් වැටී ඇති පාර දිගේ හෙමින් ඇවිද එන ඔවුන් දෙදෙනා දුටු මුල්ම දවසේ මගේ සිත සිහින් වේදනාවකට හුරු හැඟීමකින් සසලවී ගිය තරම්ය. ඊර්ෂ්‍යාවක් පරාජිත බවක් වැනි ශෝකයට ලංවු හැඟීමක් ඇතිව එදා මා බසයේදී ඈ හා කතා කළෙමි. ශෝභාගේ පෞද්ගලික ජීවිත‍ය කෙරේ මා දැක්වූ දැඩි උනන්දුව තේරුම්ගෙන සිටි ලෙසකිනි ඇය හැසුරුනේ. වචන මාත්‍රයකින් හෝ ඇගේ පෞද්ගලික ජීවිතය හෙළි නොකරන්නට ඇය බෙහෙවින් පරීක්ෂාකාරී වී යයි මට සිතේ. ඇය ශූර ගැහැණියකයයි බොහෝ වර මට දැනිනි. එහෙත් ශෝභාට බියවැදී පලා යා යුතු නැතැයි ඒ වන විට මට හැඟී ගොස් තිබිනි. ඇගේ ජීවිතයේ ශෝභන පැත්තේ මෙන්ම අශෝභන පැත්තේද එක්තරා ක්‍රමවත් බවක් ඇතැයි මම විශ්වාස කළෙමි.

ඇය කෙරේ මා ලංවූයේ මටද නොදැනෙන තරම් වේගයෙනි. ඇගේ අපූර්ව පැවතුම් මා ග්‍රහණය කළායයි කීම නිවැරදිය. ඇගෙන් මිදී යායුතු බව දැන දැන මම ඇයට ආකර්ශනය වීමි. සමහර විට මට ඕනෑ වෙන්නට ඇත්තේ ඇගේ ඇතුළු සිතට ඇතුල්වී එහි අඳුරු අහුමුලු අතගා බැලීමට විය හැකිය.

එදා කලබලකාරී ඉරිදා දිනයක් විය. මිතුරකු මුණගැසී යළි නවාතැනට එමින් සිටි මම හදිසියේම කඩවීදිය අසලින් ඇදෙන ශෝභා දුටුවෙමි. අහම්බෙන් ඈ දැකීමෙන් ඇතිවූ ප්‍රීතිය බෙදාගනු රිසිව සෙනග අතරින් රිංගමින් මම ඈ වෙතට වේගයෙන් ඇදුනෙමි.

ඉතා චාම් ලෙස සැරසී සිටි ශෝභා එදා මා ප්‍රිය කළ වර්ගයේ ගැහැණියක් බවට පත්වී සිටියාය. ඇය දැකීමෙන් වෙන කවදාවත් ඇති නොවුන අන්දමේ ප්‍රසන්න සතුටකින් මගේ සිත පිරී තිබිනි. මුළු ලොවම පුරා සිටින හැම ගැහැණියක්ම මේ එකම ශෝභාව තුල ඇතැයි යන හැගීමෙන් මම මත්ව සිටියෙමි. ඇගේ ළමැදට තුරුළු කරගත් කුඩා ළමුන්ගේ ඇඳුම් පාර්සලයක් හා සෙල්ලම් බඩු කීපයක්විය. ඈ දෙසම නෙත් රදවා සිටි මා ඈ ලඟම සිටි අනෙක් තැනැත්තා දුටුවේ මදක් පමාවීය. අවපැහැ කමීසයකින් හා කලිසමකින් සැරසී සිටි ඔහු ශෝභාගේ ඥාතියකු වෙන්නට ඇතැයි අනුමාන කල හැකිය. ඔහුගේ අතේ බඩු සහිත බෑගයක් විය. මා ඔවුන් ඉදිරියට එත්ම ශෝභා වහා නතර වූවාය. ඇගේ කලබලකාරී දැස තුල දහසක් සිතුවිලි ලිහී පාවෙන්නට විය. ඈ සමග සිටි තැනැත්තා වැඩිමහලු පෙනුමක් ඇති බයාදු බැල්මක් සහිත සිහින් සිරුරැති පුද්ගලයෙකි. ඔහු මා දෙස බැලුවේ දෑස උස්සා නළල රැළි ගන්වමිනි. එහි ප්‍රශ්නයක් විය.. මගේ මුහුණේ වූ පෙනුම ගැන මම මඳක් බියවූයේ ඔවුන්ගේ ඉරියවු දැකීමෙනි. මගේ දැස් තුල නුවුමනා තරම් ලෙංගතුකමක් රැඳී තිබුනේද?

              " ආ.. මහේෂ්. මෙහේ "
           "   මං යාලුවෙක් හම්බ වෙන්න ආගමන් "
             " අපි බඩු ගන්න ආවා.."
කතාව කෙටියෙන් හමාර කළ ශෝභා ඈ ළඟ සිටි තැනැත්තා දෙස බලමින් නැවත මා දෙස බැලුවාය.
          " මෙයාට යන්න රෑ වෙනවා. අපි යන්නම් එහෙනම් "

ඔවුන් මා පියමං කර ටික දුරක් යනතුරුත් මම එහිම රැඳී කිසිවක් විසඳා ගන්නට වෙහෙසුනෙමි. දවසින් දවස ශෝභා මට ගැටලුවක් වන ආකාරයට කරුණු යෙදෙන අයුරු මා වෙහෙසට පත් කළේය. ශෝභා සමග සිටි පිරිමියා කවුද? ඇගේ කිට්ටු ඥාතියෙක් සොයුරෙක්. එහෙත් ඇගේ ඉරියවු වලින් ඊට වඩා දෙයක් පලවිය. බාහිරව කිසිසේත් නොගැලපෙතත් ඔහු ඇගේ සැමියා වෙන්නට බැරිද? එහෙත් ඒ සිතුවිල්ල සිතට ඇතුල්වීම මට එපමණ ප්‍රසන්න නොවීය.

ඇය විවාහක තැනැත්තියක බව පිළිගන්නට මගේ හිත කිසීම සූදානමක් නැත්තේ ඇයි ?ශෝභාගේ පෙම්වතා දුටු දින මාසිත මේ තරම් කැළඹී තිබුනේ නැත. සැමියෙක් සිටින ගැහැණියකට ලංවීම පෙම්වතෙක් සිටින තරුණියක් දිනා ගැනීමට වඩා අපහසු වන්නේද? අශෝභන වන්නේද?
පසුදා ශෝභා මුණ ගැසෙන තුරු මා සිටියේ දැඩි නොඉවසිල්ලකිනි. එහෙත් ශෝභා ලඟ එබඳු නොසංසුන් ඉක්මන් කමක් ගෑවී තිබුනේ නැත. ඈ මා දුටු සැණම සුපුරුදු සිනාව මා වෙත පෑවාය.
             "කවුද ඊයෙ ඔයා එක්ක හිටියෙ. ඔයාගෙ අන්කල් කෙනෙක් වෙන්නැති "

මගේ ප්‍රශ්නයත් පිළිතුරත් හරියටම තේරුම් ගන්නට ඕනෑකම ඇතිව ඈ තත්පර කීපයක් මා දෙස බලා සිටියාය.
  " මහේෂ් හිතන්නෙ ඒ මගේ කවුරු කියල ද "
ඒ හඬේ වූ දියාරු දුක්මුසු ගතිය ශෝභාට අයිති නැති හඬක් ලෙස මම සිතා සිටියෙමි. මගේ සිතට සිහින් තැවුලක් නැගිනි.
          
    "      එහෙම නොවෙන්නත් පුළුවන්. එයා සමහර විට."
            " ඔව් මහේෂ් ඒ තමයි මං විවාහ වෙල ඉන්න එක්කෙනා '"
ඇය දිග සුසුමක් හෙලුවාය ඇගේ ඇස්වල කාන්තිය යට කඳුලකට ලඟ සිහින් තෙතමනයක් නතරවී ඇති බව මුල්ම වරට මා දුටුවේ එදිනය. ජීවිත කාලය පුරාම ඇහැ ගැටුනද අප පැහැදිලිව නොදකින අඳුරු තැන් අපේ ජීවිත වල මොන තරම් තිබේද?

ශෝභා දෑස පහතට නැඹුරු කරගෙන සිටියාය. ඇගේ බැල්ම රැඳී තිබුනේ ඇගේ ඇඟිල්ලක වූ රිදීපාට මුදුවේ රතුපාට ගල වෙතය. නිවෙන ඉර එළියෙන් පවා එහි රතු පැහැය බැබලිනි.. තත්පර කීපයකට පසු හිස ඔසවා මදෙස බැලූ ඇය බොහෝ දේ කීමේ උවමනාව ඇති ඉක්මන් හඬකින් කතා කලාය.

            " අවුරුද්දෙන් වැඩි කාලයක් එයා ඉන්නෙ ඉස්පිරිතාලෙ. ලමයි දෙන්න බලාගෙන අම්මල එක්ක එයා ගෙදර ඉන්නවා. හැමෝටම හරියන දේවල් කරන්න ගිහින් මට හුඟක් වැරදුනා මහේෂ්"

නොකිය යුතු කිසිවක් කියවුන කලක මෙන් ඇය දෙතොල් තරයේ පියාගෙන මඳ කරදරකාරි බැල්මක් මා වෙත හෙලුවාය.
    " කොහොම උනත් මං කණගාටු වෙන්නෙ නෑ. යුතුකම් ඉෂ්ඨ කරන එක මිසක් කණගාටුවෙන එක මගේ ජීවිතේට අයිති දෙයක් නෙමෙයි "
ශෝභා කවුළුවෙන් එපිට ඈත අහස දෙස බලාගෙන තත්පර කීපයක් නිහඬව සිටියාය. වළාකුළු තොර අහසේ නිල ඇගේ දැස්වල තැවරෙමින් ඇත. ඈ සෙමින් හිස හරවා දැස ඔසවා මා දෙස බැලුවාය. සුපුරුදු සැහැල්ලු සිනාව සොම්නසින් පිරුණ කාන්තිය ඇගේ දෙතොලේත් දෙනෙතේත් නතර වෙලාය. ඈ යථා ස්වභාවයට පත් වූ ඉක්මන. නැතිනම් ඇය යථා ස්වභාවය සඟවා ගත් ඉක්මන. මා ශෝභා කෙසේ වටහා ගත යුතු දැයි මට කෙසේවත් වටහා ගත නොහැක..

    "     මං කැමති නෑ මහේෂ් ආයෙ කවදාවත් ඔයා හමුවෙනවට. කතා කරනවට. ඇයි කියල අහන්නෙපා. ඔයාට කැමති දෙයක් ඒ ගැන හිතාගන්න. "

ශෝභාගේ හඬ පහත්ය.   එහෙත් පැහැදිලිය. ඇයට දිය යුතු පිළිතුර සිතා ගැනීම මට දුෂ්කර කාර්යයකි. මම සිනාසෙන්නට අසීරු උත්සාහයක යෙදුනෙමි..
..

Nissanka Rajapaksa

unread,
Jul 10, 2025, 9:59:17 PM7/10/25
to INDRAKA group
2
මවු නැති මවු රට

- රත්න ශ්‍රී විජේසිංහ 

👇 follow through images 

Nissanka Rajapaksa

unread,
Jul 11, 2025, 8:48:42 PM7/11/25
to INDRAKA group
3
අම්මාට කළින් මම ගියොත් ...? 

 - මංජුල සේනාරත්න 

ඈතින් මතු වෙන වාහනයේ සේයාව දකින අම්මා වාඩිගෙන සිටි  පුටුවෙන් නැගී සිටියාය  . ඇගේ පය පාමුල  සිමෙන්ති පොළොවේ නිදාගෙන සිටි නාදුනන බල්ලාද නැගී සිට බුරන්නට හේතුවක් සොයනු මට පෙනේ.    වාහනයේ සිටින්නේ තමන්ගේ පුතු යැයි අම්මා  නොදනියි . තීරණයක් ගැනීමට තවමත් ප්‍රමාද නැත . නිවසට ගොඩ නොවී , වාහනය හරවා ගෙන ආපසු යන්නට තවමත් හැකියාව තිබේ . 
" පාර වැරදිලා ආපු වාහනයක් වෙන්න ඇති .."  අම්මා එවිට  තනිකම මකන සුනඛයාට පහදා දෙනු ඇත .

එහෙත්  මෙය කිලෝ මීටර දස දහසක් ගෙවා පැමිණි ගමනකි . වෛද්‍යවරුන්ගේ උපදෙස් නොතකා , ශානිකාගේ සහ දරු දෙදෙනාගේ බලවත් විරෝධය මැද පැමිණි ගමනකි . අනෙක් අතට අම්මාගේ මුහුණ දැක ගැනීමට තවත් අවස්ථාවක් ලැබෙන්නේ නැත . මෙය අවසන් වතාවයි . 

"පුතේ ...? " අම්මා කීවාය . ඇය ඉදිරියේ වැඳ වැටෙන්නට තරම් හැකියාවක් මට නොවිණ . 
"ඔයා හුගක් වෙනස් වෙලා .. ඇයි එනවා කියලා කිව්වේ නැත්තේ .." අම්මා අසයි . මෙය සර්ප්‍රයිස් එකක් යැයි කියන්නට මට සිතුණි . සර්ප්‍රයිස් එකක් නම් එය සතුට දනවන එකක් විය යුතුය. එවැන්නක් මෙහි නොවේ . මගේ පෙනුම දැකීමෙන් අම්මා දැනටමත් සර්ප්‍රයිස් වී සිටියි . ආරංචිය ඇසූ විට එය ඇය කෙසේ භාර ගනීවීදැයි නොදනිමි .
"ශානිකා ..? ළමයි ..? එයාලත් ආවද ..? "
"නැහැ අම්මේ . . මම විතරයි ආවේ .."
"ඇයි මේ හදිස්සියේ ..යමු ඇතුළට .. නංගිත් නැහැ ...තව පැයකින් විතර එයි . ඉන්න මම කෝල් එකක් දෙන්නම් . ඔයා කිව්වේ නැහැ නේ බලන්නකෝ "
"කෝල් කරන්න එපා අම්මේ . නංගි එන්න කළින් මම යනවා .." නිවස තුළට යන්නට ගිය අම්මා ආපසු හැරී විත් මා අසළින් වාඩි ගත්තාය .
ඇගේ වමත , මගේ කෙස් අඩු හිස මත පතිත විය .
"පුතේ ..ඔයාගේ අසනීපය ..? "
"කිසිම දෙයක් හරි ගියේ නැහැ අම්මේ . තව වැඩි කාලයක් නැහැ .. ඒකයි මම අම්මව බලලා යන්න ආවේ .."
"ඒ කිව්වේ..?"
"ඩොක්ටර් කිව්වා මට වැඩි කාලයක් නැහැයි කියලා . අමාරුවෙන් වුණත් දැන් මේ විදිහට ඇවිදිනවා . කනවා බොනවා . ඒත් එකපාරම හැම දෙයක්ම වෙනස් වෙන්න පුළුවන් . මාස තුනක් වෙන්න පුළුවන් . හයක් වෙන්න පුළුවන් ..පිළිකාව හුගක් පැතිරිලා "

අම්මාගේ මුවින් පිටවුණු සුසුම හමාගිය උණුසුම් සුළඟ සමග මුසුවී , ආපසු හැරී විත් මගේ මුහුණ සිප ගත්තේය . ඒ සුළඟින් මම  පෙනහැල්ල පුරවා ගතිමි . පිළිකාවක ආක්‍රමණයකට නතු වී තිබුණත් , අම්මාගේ සුසුමකට පෙනහල්ලේ ඉඩක් ඇති බව මම දැන සිටියෙමි . දුම් බොන්නේ නැතුව , අම්මාගේ සුවඳ , සුසුම් , පමණක් ආග්‍රහණය කරමින් සිටියා නම් පිළිකාවක් නොපැමිණෙන්නට ඉඩ තිබුණි . 

"මම තේ ටිකක් හදාගෙන එන්නම් .. " 
"එපා අම්මේ ඔහොම ඉන්නකෝ .."
"පුතේ..අපි යමු අර කළින් අපි කතා කරපු වෙද මහත්තයා ගාවට .. මම ඉන්නවනේ සාත්තුවට ..නංගිත් ඉන්නවනේ .."
"ඒවා හරි යන්නේ නැහැ අම්මේ .. අනෙක මම ආවේ දවස් තුනකට . හෙට උදේ ආයේ යන්න ඕනා . ගෙදර යන්න ඕනා .."
"ඔයා ඉන්නේ ගෙදර තමයි පුතේ .."
"මම හිතුවා ඔයා අඬයි කියලා .."
"මම අඬනවා පුතේ . ඔයාට පේන්නේ නැහැ . හුගක් අම්මලා අඬන කොට මූණෙන් පේන්නේ නැහැ . ළමයිගේ දුක් කරදර  ගැන හිතෙත හිතෙන වෙලාවට ඇඬුව නම් අම්මලට ජීවත් වෙන්න වෙලාවක් නැතුව යනවා පුතේ . අම්මලා අඩන්නේ හිත ඇතුලෙන් . කඳුළු එළියට ගලන්නේ නැහැ ..ඇස් ඇතුළෙම වේලිලා යනවා . මම අඬනවා නෙමෙයි පුතේ මගේ මුළු ආත්මයම ගිනි ගන්නවා .." 

දරා ගත නොහැකි උණුසුමකින් පරිසරය නැහැවී තිබේ . හුස්ම ගැනීම පවා අපහසුය . අධික රස්නය නිසා හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වුනෝතින් ප්‍රයෝජනයට ගත හැකි කුඩා ඔක්සිජන් බෝතලයක් වාහනයේ තිබේ . එහෙත් එය අම්මා ඉදිරියේ පිටත ගැනීමට සිත් වූයේ නැත .

"ඔයාට මතකද පොඩි කාලේ මගේ කකුල් දෙක පණ නැතුව යනවා . අපි කොළොන්නාවේ ඉන්න දවස් වල එහෙම වුණා . ඔයා කාගෙන්ද බයිසිකලයක් ඉල්ලගෙන ඇවිල්ලා මාව බාර් එකේ තියලා තල්ලු කරගෙන දොස්තර ළඟට එක්ක ගෙන ගියා .."
"මට මතකයි පුතේ .."
"මම හිතුවේ නැහැ අම්මේ මෙච්චර ඉක්මනට මම මැරෙයි කියලා .."
"හැම අම්මා කෙනෙක්ම හිතන  දෙයක් තමයි ළමයින්ට කළින් මැරිලා යන එක . දරුවෙක් මැරෙනවා බලා ඉන්න බැහැ පුතේ . 
"ඔයාට මං ගැන තියන හොඳම මතකය මොකක්ද අම්මේ ..? " 
"එහෙම හොඳම කියලා එකක් නැහැ පුතේ . හැම දෙයක්ම හොඳ මතක . ඔයා නරක දරුවෙක් නෙමෙයි නේ . ඔයා මාත් එක්ක හැම තැනම යන්න ආවා . කරදර මැද්දේ බැහැයි කියන්නේ නැතුව හැම දෙයක්ම කරළ දුන්නා . රුපියල් සීයේ මුල්ම පඩියෙන් හැටක් මට දුන්නා ..."
තමන්ගේ මරණය ළඟදී දවසක සිදුවන බව දැනුම් දෙනු පිණිස දෙමාපියන් හමුවන්නට යන දරුවෝ මෙලොව තවත් සිටින්නට පුළුවන . ජීවිතය මට උරුම කර ඇත්තේ තවත් මාස කීපයක් බව අම්මාට කියන්නට මට සිතුණේ ඇයිදැයි නොදනිමි . අම්මා හඩනු බලා සිටින්නට මට වුවමනා වුණාද ..? ඇගේ උණුසුමේ වෙලී විනාඩි කීපයක් ගත කරන්නට වුවමනා වුණාද ..? එසේත් නැතිනම් සුපුරුදු මව්බිමේ සුළඟ ආග්‍රහණය කරන්නට වුවමනා වුණාද .. ? 
මම නොදනිමි .

I know that the ones who love us will miss us.

මරණයෙන් පසු සිදුවන්නේ කුමක්දැයි ඇසූ විට හොලිවුඩ් නළු Keanu Reevs වරක් කීවා මතකය . මා යන්නට ගිය පසු පියා අහිමි වීමේ ශෝකය මගේ දරුවන්ට දැනෙනු ඇත . ශානිකාට , මගේ මිතුරන්ට දැනෙනු ඇත . එහෙත් ඔවුහු ජීවිතයට මුහුණ දෙන බව දනිමි . පියාගේ , සැමියාගේ , මිතුරාගේ වියෝව හමුවේ තමන්ගේ හද ගැස්ම සදහට නවතා දමන්නට ඔවුන්ට නොහැකිය . ඔවුහු ගොඩ නගා ගත් දෛනික ජීවිතයේදී මා ගැන වූ මතකය අමතක වී යනු නිසැකය . මා ගැන වූ මතකය ඔවුන්ගේ මනසින් ඉවත්ව යන්නට වැඩි කාලයක් ගත වන්නේ නැත .එහෙත් මවකට දරුවෙකු ගේ වියෝවක බර සිතෙන් ඉවත් කර දැමිය හැකිද ..? දරුවෙකු ගේ අහිමි වීම යනු ඇගේ ලෝකය සදහටම කඩා වැටීම නොවේද ..? 

"පුතේ අපි දැන් මොකද කරන්නේ ..? "
"කරන්න දෙයක් නැහැ අම්මේ.."
"ඔයාලට කරදරයක් , දුකක් වුණාම හැමදාම මගේ ළඟ උත්තරයක් තිබ්බා . ඒත් අද නම් නැහැ පුතේ .."
"කිසිම කෙනෙක් ළඟ මේකට උත්තරයක් නැහැ අම්මේ . "
"ඔයා රට ගිය දා ඉඳන් පූජා කරපු මල් ගොන්න , පත්තු කරපු පහන් ගොන්න දස දහස් ගානක් වෙන්න ඇති . බෝධි පූජා , සෙත් කවි . බඩු අස්සේ , පොත් අස්සේ පිරිත් නූල් සිය ගානක් මූද උඩින් යන්න ඇති . ඔයාලට කරදරයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරපු වචන..? කොහේ ගියාද දන්නේ නැහැ පුතේ ..මේ  ආත්මේ කරපු පිං වල ආනිසංස මේ ආත්මේම ලැබෙන්නේ නැතිනම් ඇති වැඩේ මොකක්ද ..?" 
 
වෙලාව සවස තුන පසුවී තිබේ . මේ පැමිණ ඇත්තේ දවසේ වඩා උණුසුම් මොහොත විය යුතුය . වාතයේ රැඳුනු දහදිය බිඳු හඬ නගන්නාක් මෙනි . ඉවසා ගන්නට නොහැකිය . අසළ නිදා සිටින සුනඛයා පවා ගිනි ගන්නා පරිසරය දෙස මුව විවර කරගෙන බලා සිටින්නට විය . අම්මා ගේ ඉකි ගැසීම ආරම්භ වූයේ ඒ මොහොතේදීය . ඇය කිසි දිනක ඒ අයුරින් හඬා වැටෙනු මම දැක නැත . එය වේදනාව පිට කර ගන්නට කළ හැඬුමක් නොවේ . ඇගේ ඉකිගැසීම සිරුර තුළම සිර කරගෙන සිටියාක් වැනිය .
ඇය දෑත් මවෙතට දිගු කළාය . මම ඇගේ දෑත් තුළට ගුලි වීමි . මා බදාගෙන ඇය වමටත් දකුණටත් පැද්දුනේ දරු නැලවිල්ලක් කියා මා සන්සුන් කරන්නට මෙනි . ඇගේ සුරුරින් විහිදෙන කපුරු සුවඳ හමුවේ මම දෙනෙත් පියා ගතිමි . 
"හරි මහන්සියි අම්මේ .."
"නිදා ගන්න පුතේ . ඇහැරුනාම තේ එකක් හදලා දෙන්නම් .."
"මම යන්න ඕනා . නංගි එනකං ඉන්න බැහැ . නංගිට කියන්න එපා මම ඇවිත් මේ වගේ කාලකන්ණි ආරංචියක් කියලා ගියා කියලා .හැබැයි එයාට මොකක් හරි තේරෙයි ඔයාගේ මූණ දැක්කාම .."
"දුක හංගගෙන ඉඳලා මට පුරුදුයි පුතේ . මම හැමදාම ඇඬුවේ අන්ධකාරේ එක්ක එකතු වෙලා .." 

අපි දෙන්නාගේ අවසාන හමුවට දෛවය උරුම කර දී තිබුණේ හෝරාවක කාලයක් පමණි . අධික උණුසුම මැද දිගු වෙලාවක් ගත කිරීම ස්වසන පද්ධතියට අහිතකර ලෙස බලපාන්නට හැකි බව වෛද්‍යවරුන් කියා තිබුණි . හැකි ඉක්මනින් උණුසුම අඩු තැනකට , වායු සමනය කළ වාහනයකට, කාමරකට වී සිටීම කළ යුතුය . අම්මා මගේ අපහසුතාවය තේරුම් ගත්තාය . කඳුළු පිස දාගෙන , මගේ මුහුණ දෝතට ගත් ඇය " පරිස්සමෙන් ගිහින් එන්න පුතේ ..." යැයි කීමට සැරසුණාය . එහෙත් ඇගේ විධානයට වදන් අවනත වූයේ නැත. 

තමන් ජීවත්ව සිටිද්දී දරුවන් මිය ගිය විට අම්මලාගේ ජීවිත කෙසේ වනු ඇතිද ..? හදා වඩා , කවා පොවා , උස මහත් කරන දරුවන් කිසිදු විටක තමන්ට කළින් මිය යනු ඇතැයි අම්මලා සිතන්නේ නැත .තමන්ගේ ශක්තිය හීන වෙද්දී , දරුවන්ගේ ශක්තියෙන් අවසන් කාලය ගත කිරීමට ඔවුහු සිහින මවති . එහෙත් සමහර අම්මලාගේ  දරුවෝ අවාසනාවකට අම්මලාට  කළින් මිය යති . 

තම කුසින් දරුවෙක් ඉපදින වාරයක් පාසා මවක් යළි යළිත් මෙලොව උපදියි . තමන්ට කළින් දරුවෙක් මිය ගිය විට ජීවත්ව සිටියද සිය දහස් වාරයක් ඇය මිය යයි . 

මෙලොව ඇති දරා ගැනීමට අපහසුම වේදනාව දරුවෙකුගේ මරණය නොවේද ..? දරුවන්ට  පෙර නියත වශයෙන්ම දෙමාපියන් මිය යන ලෝකයක් බිහිව තිබුණා නම් , ලෝකය නිර්මාණය කළ උත්තමයා එවැනි ක්‍රම වේදයක් බිහි කර තිබුණා නම් , සියලු මව් වරුන් සතුටින් දිවි ගෙවනු නිසැකය . ඒ තමන්ගේ ජීවිත කාලය තුළදී දරුවෙකුගේ මරණයක් දකින්නට නොලැබෙන බව අම්මලා දන්නා නිසාය . 

සති දෙකකට පසු එක් උදෑසනක අම්මාගෙන් ලැබුණු ඇමතුමකි . ඇගේ කටහඬ නුපුරුදු එකකි .
"පුතේ ..ඔයා සනීපෙන් ඉන්නවා නේද ..? " 
"ඔව් අම්මේ .. ශානිකා ..? පුතාලා ..? "
"හැමෝම හොඳින් .. ඇයි මොකක්ද ..? "
"නැහැ පුතේ ..මම ඊයේ රෑ හීනෙන් දැක්කා ඔයා මාව බලන්න ආවා . ඇවිත් කිව්වා දරුණු ලෙඩක් හැදිලා කියලා . එහෙම කියලා යන්න ගියා . මම ඒකයි මේ කතා කෙරුවේ ..ඔයාලා හොඳින් නේද ..?"
"ඔව් අම්මේ අපි හොඳින් ඉන්නවා . බය වෙන්න දෙයක් නැහැ .."

අම්මත් මමත් වෙලාවකට දකින්නේ එකම හීනය නොවේදැයි එවිට මට සිතුණි .



Nissanka Rajapaksa

unread,
Jul 12, 2025, 8:28:26 PM7/12/25
to INDRAKA group

 4

පුතුන් එනතුරු


සාදියා කරීම් විසින් රචිත  BITTERSWEET නම් කෙටි කතාවේ සිංහල පරිවර්තනය උපුල් වික්‍රමනායක විසින් 


හනා සයනයේ වැතිර උන්නාය. ඇය කොපමණ වේලාවක් ඇගේ කුඩා නිවහනේ මකුළු දැල් පිරුණ වහලය දෙස මේ වනවිට බලා උන්නා දැයි කිසිම නිනව්වක් නොවිණි. ඒ ඇයගේ නෙතු අහලකටවත් නින්ද නොආ හෙයිනි.  

අනෙක් අතට ඇය නිදා නොගෙන සිටිය ද ඇයට කළ යුතු වූ නිශ්චිත වැඩක් නොවිණි. නිවෙස ඉදිරිපිටින් වූ පාරේ ගමන් කරන මිනිසකුගේ පා ගැටුම් හඬක් විටෙක හනාට ඇසෙයි. නැතිනම් පාරේ යන දෙතුන් දෙනකුගේ කිසියම් නොපැහැදිලි කතාබහක් ද ඇයගේ සවන්පත් අතරට රිංගා ගනී.

උදාවූ දවසේ කලබලකාරී ගතිය මේ වනතුරුත් පහව ගොස් නොතිබිණි. එහෙත් කොහෙන්දෝ ඈත කොදෙව්වක සිට උඩුබුරන බල්ලකුගේ හඬ ද හනාට හොඳාකාරයෙන්ම ඇසෙයි. එසේම අතොරක් නැතිව කෑගසන කපුටන් දෙතුන් දෙනකුගේ හඬ ද හනාගේ කන් පෙති අතරට රිංගා ගනී.

මේ සියලුම කලබල යන්තමින් හෝ සන්සිදුනායින් පසුව හනාගේ දෙකන් පෙති අතර නතරවනුයේ විටින් විට හමායන මද සුළඟෙන් නැගෙන සිලි සිලි හඬයි.

හනාගේ දෑස යළිත් වතාවක් වහලයේ හතර කොනටම විහිදී ගියේ කිසිම අරමුණකින් තොරවය. ඇගේ දෑසට එක්වරම හසු වියේ මකුළුවෙකි. ඌ සිටියේ වහලයේ කොනක වූ දැලේ එහා මෙහා යමිනි. කුමක් හෝ ගැටී කැඩී ගිය දැල ලහි ලහියේ යළි සකසමිනි. මකුළුවා තරමක් ලොකුය. ඌ නොසෑහෙන කාලයක පටන් හනාගේ නිවහනෙහි කුඩා කොටසක් අයිති කරගෙන සිටියාක් මෙනි.

මේ මකුළු දැල් කඩා දැමීමට බොහෝ කාලයක සිට හනාට වුවමනාවක් තිබිණි. එහෙත් කුමක්දෝ හේතුවක් විසින් එය වළකනු ලැබ තිබිණි. එබැවින් මකුළුවාට වුවමනා හැටියට විශාල දැලක් වියා ගැනීමට හොඳටම ඉඩකඩ ලැබී තිබිණි.

ඒ කොහොම වුණත් හනාට තවදුරටත් ඇඳෙහි ඇලවී සිටීමට අපහසු වූවාය. තවදුරටත් නින්දක් අහලකටවත් නොඑයි. හනා හීන් සීරුවේම නැගිට ඇඳ ගැට්ටේ වාඩි වූවාය. ඇය දැන් ඒ අයුරින් ද කොපමණ වේලාවක් උන්නා දැයි ඇයටම ගණන් හිලවු කීමට නොහැකියාක් මෙනි. අඳුර ගලා එන්නට තවත් සෑහෙන වේලාවක් ගෙවී යා යුතුව තිබෙනු ඇයට දැනිණි. එහෙත් ඒ සමගම කොහෙන්දෝ කඩා පාත්වුණ මූසල පාළුවකුත් කාන්සියකුත් ඇය වටා දැවටෙන්නට විය. පුතුන් දෙදෙනා ළඟට යෑමට ඇත්නම් යැයි ඇයට සිතෙයි. එහෙත් එයද මේ වනවිට කළ හැකි දෙයක් නොවන තැනට වැටී ඇත. ඒ මීට දස වසරකට පමණ පෙරාතුව ඔවුන් දෙදෙනා හනාගෙන් නික්ම බොහෝ දුර කොදෙව්වකට පියමං කර සිටි බැවිනි. ඒ සල්ලි හම්බ කිරීමටය.

හනා සිතනායුරු ඇගේ මුළු දිවියම වාගේ වෙනස් වූයේ ඇයගේ සැමියාගේ වියෝවෙන් පසුවය. ඔහුගේ මරණයෙන් පසුවය. ඔහුගේ මරණයෙන් හනාට අගහිඟකම් ගලා ආයේ දෙගොඩ තලාගෙනයි.

කන්නට බොන්නට මෙන්ම දරු දෙදෙනාගේ ඕනෑ එපාකම් වෙනුවෙන් හනාට සල්ලි වුවමනා වී තිබිණි. යාන්තමින් හෝ රැඳී ඉන්නට නිවහනක් නොවී නම් ඇතැම් විටෙක ඇයට පාරට බසින්නට සිදුවනු නියතය.

ඇගේ සැමියා සිටි කාලයේ වුව ඔහු බොහෝ වෙහෙස මහන්සි වී හරිහම්බ කළා මිස සතයකුදු ඉතිරි කිරීමට තරම් මුදලක් ඔහු අතට නො ආවේය.

හනා ගෙවුණ සෑම උදෑසනකම වාගේ ගෙයින් ගෙට ගියාය. ඒ එදිනෙදා කුලියක් මලියක් කර කීයක් හරි සොයා ගැනීමටය.

ඕ කොතැනින් හෝ වැඩක් පලක් ලැබුණොත් වෙහෙස මහන්සිය කාල වේලාව නොබලා යහමින් වැඩ කළාය. ඒ පුතුන් දෙදෙනා වෙනුවෙනි. ඇතැම් දිනයක ඇය ආපහු නිවහනට ආවේ දවල් කෑම වේලවත් නොගෙනය. ඇයට ලැබෙන හැම කෑම වේලක්ම හංගාගෙන මෙන් ඇය ගෙදරට ගෙනවිත් පුතුන් දෙදෙනාට දුන්නේ අපරිමිත සෙනෙහසිනි.

එහෙත් මේ වනවිට ඒ හැම දෙයක්ම අතීතයට එක්ව තිබිණි. කාලය ටිකින් ටික ගෙවී ගොස් ඇගේ පුතුන් දෙදෙනාගේ කර දඬු උස් මහත් වී තිබිණි. ඔවුන් දෙදෙනා නාඹර වියට එළැඹෙත්ම ජීවිතයේ කටුකත්වය ද තේරුම් ගොස් තිබුණක් මෙනි.

“අම්මා මෙහෙ ඇති දෙයක් නෑ.. ගස් ගල් මිස මෙලෝ දෙයක් නෑ… අපට මේ අපායෙන් ගොඩ එන්න නම් ටවුමට යන්න වෙනවා… හොඳින් හරි නරකින් හරි සල්ලි හම්බ කරන්න වෙනවා… නැත්නම් අපට හැමදාම මේ අපායේ දුක් විඳින්න වෙනවා…”

පුතුන් දෙදෙනාගේ ඒ කතාව හනාගේ පපු කුහරය තුළටම කිඳා බැස්සාක් මෙනි. බොහෝ ඉකි බිඳුම් සෝ සුසුම් මැද ඇය අන්තිමේදී පුතුන් දෙදෙනාගේ ඉල්ලීමට ඉඩ දුන්නාය.

ඔවුන් ගම්මානයෙන් නික්ම යෑමෙන් පසුව ඇයට පුතුන් දෙදෙනාගෙන් මාරුවෙන් මාරුවට ලියුම් ලැබෙන්නට විය. ඒ වගේම ඔවුහු විටින් විට යහමින් සල්ලි ද එවන්නට වූහ. එහෙත් කවදාවත් ඒ සල්ලිවලින් ඇයට දෙයක් කර ගන්නට තරම් වුවමනාවක් නොවිණි. ඇය මහන්සි වී හම්බ කර ගන්නා මුදල ඇයට පණ ගැට ගසාගන්නට සෑහී තිබිණි.

හනා හැමදාමත් නැගිට යාඥා කරයි. ඒ පුතුන් දෙදෙනාට යහපතක් වන පැතුමෙනි.

ඒ කොහොම වුණත් හනාගේ සිත තුළ එකම එක පුංචි බලාපොරොත්තුවක් රැඳී තිබෙයි. ඒ කවදා හෝ දවසක පුතුන් දෙදෙනා ඇය බලන්නට එනු ඇතැයි කියාය. හනා ඔවුන්ට හොඳ කෑම වේලක් දෙන්නට ද සිතාගෙන සිටින්නීය. ඕ ඒ වෙනුවෙන් පුතුන් එවූ සල්ලි අර පරෙස්සමට තබාගෙන සිටී. දැන් මේ වෙද්දි ඒ සියලුම බලාපොරොත්තු සියල්ලක්ම සුන්ව යන අයුරක් පෙනෙයි. සෑහෙන කාලයක සිට පුතුන් දෙදෙනා ගැනම කිසිම හෝඩුවාවක් නැත. දන්නා කියන කාලයකින් ලියුමක්වත් නොලැබිණි. ඔවුන් දෙදෙනාගේ සියලු පැතුම් මල් පල ගැන්වී ඇතිවාක් මෙනි.

එක්කෝ ඔවුන් ජීවතුන් අතර නැතිවාක් විය හැකිය. නැතිනම් අම්මා ගැන හිතන්නටවත් කාලයක් ඉතිරි වී නැතිවා විය හැකිය. ඒ මොන දේ වුණත් ඔවුන්ගේ මව අද වනවිට උදාවන අරුණැල්ලේ පටන් හිරු නොපෙනී යන අන්ධකාරය තෙක්ද රැය තිස්සේ ද සිතන්නේ පුතුන් දෙදෙනා ගැනය.

හනා දෑස් අගට එකතු වී තිබුණු කඳුළු කැට අත්ලෙන් පිස දැමුවාය. එසැනින්ම ඕ එක්වරම තිගැස්සුණාය. ඒ ඇගේ කුඩා නිවහනෙහි දොරටුව අසල කිසිවකු සිටිනු දැකීමෙනි.

ඔහු යාබද නිවහනේ කුඩා දරුවාය. වයස අවුරුදු දහයක් පමණ වන්නට ඇත. හේ බොහෝ වේලාවක පටන් හනා දෙස බලා සිටියාක් මෙනි. ඒ අතරතුර ඔහු බොහෝ වේලාවක පටන් දැඩි කල්පනාවක ද නිමග්නව සිටියාක් මෙනි.

හනා තමන් දුටු බව දැනුණ සැනින් කුඩා දරුවා ඇය අබියසට ආවේය.

ඒ සමගම ඔහු මිට මොලවගෙන සිටි අත දිගහැර යමක් හනාගේ අතෙහි තැබුවාය. ඒ කුඩා ටොපියකි.

“හනා නැන්දෙ මේක තියා ගන්න… මම නැන්ද දිහා ගොඩක් වෙලා බලා උන්නා… මම දැක්ක නැන්ද ගොඩක් දුකෙන් වගේ ඉන්නවා… අපේ අම්ම නම් මම දුකෙන් ඉන්නකොට මට ටොෆියක් හරි රස කෑමක් හරි දෙනවා.”

හනාට තමා ගැනම දැඩි අනුකම්පාවක් ඇති විය. ඕ ටික වේලාවක් අත්ල මත තිබුණ ටොෆිය දෙස බලා සිටියාය. ඉක්බිති ඕ කුඩා දරුවා දෙස බැලුවාය.

ඔහු ඒ වනවිට හනාගේ නිවහනෙන් නික්ම යෑමට මිදුලට බැස සිටියේය. හනා තමාටම සිනා සුණාය. ඒ සමගම නෙතු අග රැඳී තිබුණ කඳුළු බිඳුවක් ද ටොෆිය මත්තට වැටිණි.


https://www.divaina.lk/features/15172?fbclid=IwY2xjawLcMa9leHRuA2FlbQIxMQABHuuLh7YglqdQsXo5ej7o1ric_wAmJb49xMtWyDyjfz-Akqo_8l-srfzu5RhG_aem_3bTBTEyR4KNVCbx0b7LJbw

Nissanka Rajapaksa

unread,
Jul 16, 2025, 8:11:52 PM7/16/25
to INDRAKA group
5
සරුංගල් සාදන්නා

- ඉන්දීය ලේඛක රස්කින් බොන්ඩ්

පරිවර්තනය;
එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ


ගාලි රාම් නාත් වීදියේ තිබුණේ එක් ගසක් පමණි. එය අතහැර දැමූ මුස්ලිම් පල්ලියක ඉරිතැලීම් හරහා වැඩුණු පුරාණ නුග ගසකි. කුඩා අලිගේ සරුංගලය එහි අතු පතර සිරවී තිබුණි. ඉරුණු කමිසයක් පමණක් ඇඳ සිටි පිරිමි ළමයා පාවහන් පැළඳ නොසිටියේය. ඔවුන්ගේ නිවස පිටුපස මිදුලේ වාඩිවී සිහින ලෝකයට පිවිස හිරු රැස් තපිමින් සිටි සීයා වෙත ගල් බොරළු සහිත පටු වීදිය දිගේ කුඩා අලි දිව ගියේය.

“සීයේ…” කොල්ලා කෑ ගැසුවේය.

“මගේ සරුංගලය ගියා!”

මහලු මිනිසා තම දවල් සිහිනයෙන් අවදිව හිස ඔසවා බැලුවේය. මෙහෙන්දි කොළ වලින් රතු පාට නොකළේ නම් සුදු පැහැයට හැරෙමින් පවතින රැවුල අත ගෑවේය.

“නූල කැඩුනාද?”

“නෑ… සීයේ…, ”

“ඒ සරුංගල් නූල කලින් වගේ නෙමේ, කියලා මම දන්නවා.”

“එහෙනම්! ”

“සරුංගලය නුග ගහේ පැටළිලා.”

මහල්ලා සිනාසුණේ ය.

“ඔයා තාම සරුංගලයක් ඉහළ යවන හැටි හරියට ඉගෙනගෙන නැහැනේ… මගෙ පුතේ. ”

“ඇයි… ඒ…කොහොමද?”

“ඔයාට උගන්වන්න මට වයස වැඩියි. ඒක තමයි දුක. ඒත් ඔයාට තව සරුංගලයක් හම්බවෙයි.”

ඔහු උණ බට පටි, කඩදාසි සහ තුනී සිල්ක් රෙදි වලින් අලුත් සරුංගලයක් සාදා අවසන් කළේය. එය හිරු එළියේ තබා, වියළෙන්නට හැරියේය. කුඩා කොළ පැහැති වලිගයක් සහිත එය ලා රෝස පැහැති සරුංගලයකි. මහල්ලා සරුංගලය අලිට ලබාදුන් සැණින් පිරිමි ළමයා ඇඟිලි මතින් නැගී සිට තම සීයාගේ කම්මුල සිප ගත්තේය.

“මම මේක නැති කරගන්නේ නැහැ.” ඔහු පවසා සිටියේ ය.

“මේ සරුංගලය කුරුල්ලෙක් වගේ පියාඹයි.” ඔහු එක් පාදයක් ඉහළට ඔසවා මිදුලෙන් එළියට පැන්නේය.

මහල්ලා හිරු එළියේ සිහින දකිමින් සිටියේය. ඔහුගේ සරුංගල් සාප්පුව දැන් දකින්නට නැත. එතැන බොහෝ කලකට පෙර පරණ බඩු වෙළෙන්දෙකුට විකුණා තිබුණි. ඒත් මහල්ලා තවදුරටත් සරුංගල් සෑදුවේය. ඒ ඔහුගේම විනෝදය මෙන්ම තම මුනුපුරා වෙනුවෙනි. මේ දිනවල බොහෝ දෙනකු සරුංගල් මිලදී ගත්තේ නැත. වැඩිහිටියෝ ඒවා නොසලකා හැරියහ. තරුණයෝ සිනමා ශාලා වෙත යෑමට හුරුපුරුදුව මුදල් වියදම් කළහ.

සරුංගල් පියාසර කරවීම සඳහා එතරම් විවෘත අවකාශයක් ඒ වනවිට ගමේ ඉතිරිව නොතිබුණි. පැරණි බලකොටුවේ බිත්තිවල සිට ගං ඉවුර දක්වා විහිදී තිබූ විශාල තෘණබිම නගරය විසින් ගිලගෙන තිබුණි. වැඩිහිටි මිනිසුන් සරුංගල් පියාසර කරවූ කාලයේ සරුංගල් අහසේ පාවෙමින් එකිනෙක සමඟ පැටලෙමින් එකෙකුගේ නූල වෙන්වන තුරු, මහා සටන් සිදුවූයේය. එවිට පරාජිත නමුත් නිදහස් වූ සරුංගලය නොදන්නා නිල් අහසේ පාවී ගියේය. හොඳ ඔට්ටු ඇල්ලීම් සිදුවූ අතර මුදල් නිතර නිතර අතින් අතට මාරු විය. අතීතයේ සරුංගල් යැවීම රජවරුන්ගේ ක්‍රීඩාවකි. මේ විනෝදාංශයට සහභාගිවීමට නවාබ් තම පිරිවර සමඟ ගං ඉවුරට ගිය ආකාරය මහල්ලාට සිහිපත් විය. එකල එය විනෝදජනක අවස්ථාවකි. ලෙලදෙන කඩදාසි තීරු සමඟ නිදහසේ ගත කිරීමට සෑහෙන කාලය තිබුණි. දැන් සෑම කෙනකුම ඉක්මන්වී තිබේ. බලාපොරොත්තුවේ උණුසුමෙන් ඉක්මන්වී තිබේ. සරුංගල් සහ දවල් සිහින වැනි සියුම් දේවල් පයට පෑගෙන තරමට බැහැරකර ඇත.

සරුංගල් සෑදූ ඔහුගේ ජීවිතයේ මුල් කාලයේදී මහමූද් නගරය පුරා ප්‍රසිද්ධියට පත්විය. ඔහුගේ වඩාත් ලස්සන සරුංගල් වරක් රුපියල් තුනක් හෝ හතරකට අලෙවිවී ගියේය. නවාබ්ගේ ඉල්ලීම පරිදි ඔහු වරක් දිස්ත්‍රික්කයේ දක්නට ලැබුණු ඕනෑම සරුංගලයකට වඩා වෙනස්ව ඉතා විශේෂ ආකාරයේ සරුංගලයක් සාදා තිබුණි. එය තුනී උණ පටි රාමුවක් මත ඉතා සැහැල්ලු කඩදාසි තැටි මාලාවකින් සමන්විත විය. සෑම තැටියකම කෙළවරට ඔහු රැළිමාලා සවිකර සරුංගලයේ දෙපස සමබරතාවයක් ඇති කළේය.

ඉදිරියෙන්ම පිහිටි තැටියේ මතුපිට තරමක් උත්තල වූ අතර, එය මත අපූරු මුහුණක් පින්තාරු කර තිබුණි. කුඩා දර්පණවලින් සාදන ලද ඇස් දෙකක් විය. හිසේ සිට වලිගය දක්වා ප්‍රමාණයෙන් අඩුවූ තැටි, රැළි සහිත හැඩයක් ගත්තේය. සරුංගලයට බඩගා යන සර්පයකුගේ පෙනුමක් ලබා දුන්නේය. මෙම අපහසු උපාංගය බිමෙන් එසවීමට විශාල කුසලතාවක් අවශ්‍ය වූ අතර එය හැසිරවීම කළ හැකි වූයේ මහමූද්ට පමණි.

මහමූද් විසින් නිර්මාණය කරන ලද ‘මකර සරුංගලය‘ ගැන සෑමදෙනාම අසා තිබුණි. එයට අද්භූත බලයන් ඇති බවට කටකතා පැතිර ගියේය. පළමු මහජන ප්‍රදර්ශණය ඉදිරියේ නවාබ් එය දියත් කරන ආකාරය නැරඹීම සඳහා විශාල පිරිසක් එළිමහනේ රැස්ව සිටියහ. භූමියෙන් එසවීමටගත් පළමු උත්සාහයේදීම එය අසාර්ථක වුණි.

ශෝකජනක, විරෝධතාත්මක ශබ්දයක් තැටි වෙතින් නිකුත් වූ අතර, සූර්යයා කුඩා දර්පණවල සිරවී, සරුංගලය ජීවමාන ජීවියකු බවට පත් කළේය. තවත් මොහොතකදී සුළඟ නිවැරදි දිශාවෙන් හමා ආවේය. මකර සරුංගලය ඉහළ හා පහළ යමින් අහසට නැගී ගියේය. සූර්යයා තවමත් එහි යක්ෂ දෑස තුළ දිලිසෙමින් තිබුණි.

සරුංගලය ඉතා ඉහළ නැගී ගිය අවස්ථාවේ නූල තදින් ඇදී තිබුණි. මහමූද්ගේ තරුණ පුතුන් නූල් පන්දුව අල්ලාගෙන ඔහුට උදව් කළේය. සරුංගලය නිදහසේ ගමන් කරමින් ආකාසේ ඉහළට ඈතට ඇදී ගියේ තමන්ගේම ජීවිතයක් ගත කිරීමට අධිෂ්ඨාන කරගත් ආකාරයෙනි. අවසානයේ එය එසේම විය.

නූල කැඩී ගියේය. සරුංගලය සූර්යයා දෙසට ඇදී ගියේය. එය නොපෙනී යන තෙක් ඉහළට පියාසර කළේය. සරුංගලය නැවත කිසි දිනෙක සොයාගත නොහැකි විය. පසුව මහමූද් කල්පනා කළේ ඔහු ජීවමාන සරුංගලයක් නිර්මාණයකර ඇති බවයි. ඔහු ඒ හා සමාන තවත් එකක් නිර්මාණය කළේ නැත. ඒ වෙනුවට ඔහු නවාබ්ට සංගීතය පිටකරන සරුංගලයක් සාදා දුන්නේය. එය වාතයේ ඉහළ නැඟෙන අවස්ථාවේ වයලීනයකින් නැඟෙන හඬක් නිකුත් කළේය.

ඒ වඩාත් විවේකී හා නිදහස සහිත දවස් විය. නමුත් නවාබ් වසර ගණනාවකට පෙර මිය ගොස් සිටි අතර ඔහුගේ පරම්පරාව මහමූද් තරම්ම දුප්පත් විය. කවියන්ට මෙන් සරුංගල් සාදන්නන්ටද වරක් අනුග්‍රාහකයන් සිටිය නමුත් කිසිවකු මහමූද්ව දැන හඳුනාගෙන සිටියේ නැත. මන්ද, රාම් නාත් ගලි හි බොහෝ දෙනෙක් වාසය කළේ තම අසල්වැසියන්ට කරදර නොවන ලෙස බැවිනි.

තරුණ වියේ පසුවූ මහමූද් අසනීප වූ අවස්ථාවන්හිදී, අසල්වැසි සියලු දෙනාම පාහේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය විමසීමට පැමිණියේය. නමුත් මෙවර ඔහුගේ කාලය අවසන් වෙමින් පැවතුණි. කිසිවකු ඔහු බැලීමට පැමිණියේ නැත. සත්‍ය ලෙසම ඔහුගේ පැරණි මිතුරන් බොහෝ දෙනෙක් මිය ගොස් සිටි අතර ඔහුගේ පුතුන් ද හැදී වැඩී සිටියහ. එක් අයෙක් ගමේ ගරාජයක සේවය කරමින් සිටි අතර, අනෙකා බෙදීම සිදුවන අවස්ථාවේ පාකිස්තානයේ සිටි හෙයින් ඔහුගේ ඥාතීන් සමඟ නැවත එක්වීමට නොහැකි වූයේ ය.

වසර දහයකට පෙර ඔහුගෙන් සරුංගල් මිලදී ගත් දරුවන් දැන් වැඩිහිටි පිරිමින් වී සිටියේය. ඔවුන් සියලු දෙනාම පාහේ ජීවත්වීමට අරගල කරමින් සිටියහ. මහල්ලා සහ ඔහු ගැන මතකයන් ඔවුන් වෙතින් වියැකී ගොස් තිබුණි. වේගයෙන් වෙනස් වන ලෝකයක ඔවුහු දිවි ගෙවූහ. ඔවුන් පැරණි සරුංගල් සාදන්නා සහ නුග ගස පිළිබඳව දැක්වූයේ උදාසීනවූ නොසැලකිලිමත් බවකි.

මහල්ලා සහ නුග ගස සාමාන්‍ය දෙයක් ලෙස සලකනු ලැබීය. තවදුරටත් මිනිසුන් තම ගැටලු සහ සැලසුම් සාකච්ඡා කිරීමට නුග ගස යටට රැස්වූයේ නැත. ස්ථිර ලෙසම ඔවුන් වටා සිටි ඝෝෂාකාරී, දහඩිය දමන මිනිස් සමූහයා ගැන කිසිදු සැලකිල්ලක් නොදැක්වීය. ගිම්හාන මාසවලදී පමණක් දරුණු හිරුගෙන් රැකවරණය පැතුවේ ස්වල්ප දෙනකු පමණි.

ඒත් පිරිමි ළමයා, ඔහුගේ මුනුපුරා එහි දැකගත හැකි විය. මහමූද්ගේ පුතා ළඟම වැඩ කිරීම හොඳ ය. ඒ, ශීත සමයේ හිරු එළියේ සෙල්ලම් කරන කුඩා පිරිමි ළමයා දෙස බලා සිටීම මහලු මිනිසාගේ හදවතට සතුටක් ගෙන දුන් බැවිනි. ඔහුගේ දෑස මානයේ වැඩෙන ළමයා සෑම දිනකම නව කොළ දලු දමන හොඳින් පෝෂණය වන අංකුරයක් මෙන්විය.

ගස් හා මිනිසුන් අතර විශාල බැඳීමක් තිබෙනවා. අපි තුවාල නොලබා, කුසගින්නේ නොසිටියත්, අපි කපා දැමුවේ නැත්නම් බොහෝ දුරට ගස් එකම වේගයකින් වැඩෙනවා. අපේ තරුණ අවධියේදී අපි දීප්තිමත් ජීවීන්, සිරුර පරිහානියට පත්වන අවුරුදුවලදී අපි ටිකක් නැමෙනවා. අපි මතක තබා ගන්නවා. අපි අපේ බිඳෙනසුලු අත් පා හිරු එළියේ දිගු කරනවා. අන්තිමට සුසුම් හෙළමින් අපි අපේ අන්තිම කොළයත් හැලී යනවා.

මහමූද් නුග ගසක් මෙන් විය. ඔහුගේ දෑත පැරණි ගසක මුල් මෙන් වියළිව ඇඹරී ගියේය. අලි මිදුලේ කෙළවරේ සිටුවන ලද තරුණ මිමෝසා ගසක් මෙන් විය. වසර දෙකකින් ඔහු සහ ගස යන දෙදෙනාම ඔවුන්ගේ මුල් තරුණ කාලයේ ශක්තිය හා කඩවසම් බව අත්පත්කර ගනු ඇත. වීදියේ හඬවල් ටිකෙන් ටික දුර්වලවී වියැකී ගිය අතර බොහෝවිට මහමූද් කල්පනා කළේ, හින්දු භක්තිකයන්ගේ විෂ්ණු දෙවියන්ගේ ප්‍රසිද්ධ අශ්වයා හා සුදු පැහැති මහා කුරුල්ලා වන ගරුඬාට සමාන ඉතා අලංකාර හා බලවත් සරුංගලයක් ගැන සිහිනයකි. කුඩා අලි සඳහා අපූරු නව සරුංගලයක් සෑදීමට ඔහුට අවශ්‍ය වූයේය. පිරිමි ළමයා වෙනුවෙන් තබා යාමට ඔහුට වෙන කිසිවක් නොතිබුණි.

ඈතින් අලිගේ කටහඬ ඔහුට ඇසුණු නමුත් පිරිමි ළමයා තමාට කතා කරන බව ඔහුට වැටහුණේ නැත. ඒ හඬ බොහෝ දුර සිට පැමිණෙන බවක් පෙනෙන්නට තිබුණි. අලි මිදුලේ දොරකඩ සිට අසමින් සිටියේ ඔහුගේ මව කඩයට ගොස් තවම ආපසු පැමිණියේ නැති ද යන්නයි. මහමූද් පිළිතුරු නොදුන් හෙයින් පිරිමි ළමයා තම ප්‍රශ්නය නැවත නැවතත් ඉදිරිපත් කළේය. මහලු මිනිසාගේ හිසේ පැත්තකට හිරු එළිය වැටී තිබූ අතර, ඔහුගේ කඩා හැලෙන රැවුල මත කුඩා සුදු සමනලයකු රැඳී සිටියේය. මහමූද් නිහඬව සිටියේය. අලි තම කුඩා දුඹුරු අත මහලු මිනිසාගේ උරහිස මත තැබුයේය. ඔහුට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණි. පිරිමි ළමයාට ඔහුගේ සාක්කුවේ වීදුරු බෝල අතුල්ලන ශබ්දයක් වැනි සිහින් ශබ්දයක් ඇසුණි.

හදිසියේම බියට පත් වූ අලි ආපසු හැරී දොර ළඟට ගොස් තම මවට කෑගසමින් වීදිය දිගේ දිව ගියේය. සමනලයා මහලු මිනිසාගේ රැවුල අතහැර මිමෝසා ගස වෙත පියාසර කළේය. එකවරම හමා ආ සුළඟක්, ගසේ රැඳී තිබුණු සරුංගලය ඉවතට ඇදගෙන අරගල කරන නගරයට බොහෝ ඉහළින් තෙරක් නොපෙනෙන නිල් අහසට රැගෙන ගියේ ය.



https://www.divaina.lk/features/16575?fbclid=IwY2xjawLkORxleHRuA2FlbQIxMQABHlcwocujDHhlDnEkqO1MOVBbD1zf4UHvUefyUZUSDaUJP-9SJDVnupBXi3Yp_aem_SY9iiq858v-bU6TtOW-OHw


Nissanka Rajapaksa

unread,
Jul 26, 2025, 7:02:50 AM7/26/25
to INDRAKA group
6
ඔහොම තමයි ඉතිං

- රුවන් ඩී. අළුබෝමුල්ල

( බදාදා මව්බිම 'සඳහස' අතිරේකයෙන්) 

(Attached)


DOC-20250726-WA0002..pdf

Nissanka Rajapaksa

unread,
Jul 28, 2025, 11:22:36 PM7/28/25
to INDRAKA group
7
පෙම් කව

- මනෝජ් ප්‍රසන්න 

සිරියා… ඕනෑ වෙලාවට කිසි දෙයක් හොයාගන්න නෑ නේ. අනේ මන්දා…”

“මොකක්ද හෙවුවේ…?”

“නෑ, මේ හාෆ්ෂීට් එකක්. අර සුමනෙ මල්ලිට අභියාචනාවක් ලියලා ඉල්ලුවා. මෙතැන තිබුණා. කෝ එකක්වත් නෑ නේ. බහිරවයො ගන්නවද මන්දා…”

“හා හා, බෙරිහන් දෙන්න ඕනැ නෑ ඕකට. පුතා ගාව ඇති. ඉන්න, මං අරන් එන්නම්…”

විකසිතගේ මේසය පුරා කොළ ය. පොත් දාපු දාපු තැන්වල ය. ඈ පොත් එහා මෙහා කරමින් හාෆ්ෂීට් එකක් හොයද්දීය, එය හමු වුණේ. ඈ කීපවරක් එය කියෙවුවේ තමාට වැරදීමක් වූවාදැයි නිශ්චිතව දැනගැනීමටය.

විජේපාල එය දුටු වහා සර්පයකු සේ කිපුණේය. ඇස්ගෙඩි රතු වූයේ ලොවිගෙඩි සේය.

“යකෝ මුන් ඇස්ගෙඩිවල තියන් හැදුවේ මේකටද! අම්මපා මොළගෙඩි හදලා, විස්සවිද්‍යාලවල යවලා ගුරුවරයෙක් කොළා. මක්කයි මුන් ඉගෙනගෙන තියෙන්නේ… මැටිහරක්! ගමේ උන් තාම අපි දැක්කම දෙකට නැවිලා යන්නේ. එහෙම ලෙවල් එකේ අපි උන්නේ. අපෙ පරම්පරාවම එහෙමයි. ෂික්!”

“හරි. දැන් ඉතින් කලබල වෙලා වැඩක් නෑ. මොකක්ද මේකට කොරන්නේ කියලා හිතුවොත් හොඳයි නේද?” සිරියා මඳක් නිවීමෙන් කීවේ බොරුවට කලබල වීමෙන් උත්තරයක් නොලැබෙන නිසාය.

“මේ… කොල්ලට දැනගන්න තියන්නෙපා අපි මේක දන්න බව. හ්ම්ම්… මම මොනවා හරි කරන්නම්…”

“මොනවා හරි, කියලා පුතාට කරදරයක් වෙන දෙයක් එහෙම කොරනව නොවෙයි…”

“අනේ මේ… ඔහේ තමයි ඔක්කොටම මුල. ‘පුතා පුතා’ කියලා හුරතල් කරනවා. අන්තිමට පරම්පරාවම නැති කරලයි නවතින්නේ…”

ජයවික්‍රම පරම්පරාව ගමේ ගෞරවයක් දිනා ඇත. විකසිතගේ පියා විජේපාල ජයවික්‍රමය. ඔහු දංවිටියේ හිටපු ග්‍රාමනිලධාරි ය. සනත් ජයවික්‍රම ඔහුගේ මල්ලී ය. ඔහු පෞද්ගලික සමාගමක වැඩ කරයි. දෙදෙනා අතර තිබුණේද පුදුමාකාර සහෝදරකමකි. ඒ නිසා පවුල් දෙක අතර හිතවත්කම ඉතා ප්‍රබල විය. විකසිත සරසවි අධ්‍යාපනය නිමවා ගුරු පත්වීම ගත්තේ මීට මාස කීපයකට පෙර ය. ඒ, ගමේ පාසලට ය.

සනත්ට දුවෙක් සහ පුතෙක් සිටියහ. දුව විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා සිටි අතර, පුතා සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනගනී. විකසිත හා ඔවුන් අතර පැවතියේද සහෝදරත්වයද ඉක්මවූ මිත්‍ර සමාගමකි. නිතරම ඔවුන් අධ්‍යාපන වැඩ මෙන්ම වෙනත් කටයුතු වෙනුවෙන්ද අයියා හමු වීමට නිවෙසට පැමිණි අතර, කිසිදු ආරවුලක් ඇති කරනොගැනීම විශේෂත්වයකි.

“අම්මා, තාත්තා කෝ? පහුගිය ටිකේම හරියට කතා කරන්නවත් වුණේ නෑ.”

“මේ ටිකේ ඕං මොනවාද අලුත් වැඩක් පටන් අරන්. මං හිතන්නේ වෙසක් එකට ලොකු වැඩක් කරන්ට වෙන්නැති මයෙ හිතේ… සුගතෙ මාමගෙ දිහාමයි.”

“ආ… ඒක තමයි. මං ඒත් බැලුවා මොකෝ කියලා.”

“හ්ම්ම්… ඒක තමයි,” කියූ ඈ වැඩිපුර කතා නොකර ලිස්සා ගියේ තමාගේ කටටද බ්‍රේක් නැති බව දන්නා නිසාය.

සිරියා හා විජේපාල මේ අතර දිනක මාලියැද්දේ කට්ටඩියා හමු වීමට ගියේ ගුරුකමක් කර හෝ පුතුගේ සිත වෙනස් කිරීමටය.

“දැක්කනේ සිරියෝ, ගුරුන්නාන්සෙ කිවුවා! මේකා ගමෙන් නොයවා ඔය සම්බන්ධෙ නවත්තනව බොරු. දැන් ඉතින් ඒකවත් කොරලා බලමු.”

“ඒක කොහොමද කරන්නේ? ගමේ උන් පණ ඇරලා ආදරෙයි ඌට. අනික, එහෙම ඕනැ ඕනැ විදියට මාරු වෙන්නත් පුළුවන්ය?”

“අනේ ඔහේ දන්න ඉටිගෙඩියක් නෑ. නීතියට වැඩ වෙන්නේ මොකුත් කරගන්න බැරි උන්ට. හ්ම්! මේ ජයවික්‍රම පරම්පරාව ගැන හරියට දන්නෑ වගේ නේ කතා කරන්නේ…”

“අනේ ඉතින් ඔහෙට ඔය පරම්පරාව තමයි! මොන බම්බුවක්වත් කොරගෙනත් නෑ…”

“හරි හරි. මං ඇමැතිට කියලා ඒක කොරන්නම්. ඔහේ කලබල වෙන්ට කාරි නෑ.”

“මාරුව හැදුවත් ඌ කැමති වේවියැ යන්න?”

“ඒකට නෙ ගුරුන්නාන්සෙ ඉන්නේ. මේ දෙහි ටික වළ දාලා. ඔය අබ ටික මිදුලට ඉහින්න. නිකම්ම හිත වෙනස් වෙයි. ඔව්වයැ ගුරුකම්කාරයෝ කොරන්නේ!”

“නැන්දේ… මල් ටිකක් කඩා ගන්නද?”

“හා හා මලියො… කඩාගන්න කඩාගන්න.”

සනත්, විජේපාල හමු වීමට ආවේ මේ අතරය.

“අයියේ, ස්පැනර් එක ටිකක් දෙනවයි. මොකෙක් හරි ගෙනිහිල්ලා අපේ එක. මුන් දෙයක් ගෙනිච්චම මතක් කොරලා ගෙනත් දෙන්නෑනේ. මම ඉක්මනට ගෙනත් දෙන්නම්.”

“හා ඒක මොකක්ද… වැඩේ කරගෙන ගන්න බැරියැ…”

“හරි අයියේ, ගිහින් එන්නම්…”

“බාප්පේ, සුදු අක්කා දහම්පාසල් ආවේ නැත්තේ මොකෝ. අක්කා නැති වුණාම පාළුයි… ලබන සතියෙ එනවද?”

“සමහර විට දිගටම එනේකක් නෑ…”

මුහුණ හකුළුවා ගනිමින් ඔහු කියද්දි විජේපාල සිරියාගේ මුහුණ දෙස බලා යමක් කීවේ ය.

“අර මොකෝ මල්ලී… කෙල්ල ආසාවෙන් නේ ගියේ.”

“ආසාවෙන් තමයි. උන්ට බුරුල දුන්නාම ඕන ඕන දේවල් කරනවා… ඕන දේ මොකක්ද එපා දේ මොකක්ද කියලා කල්පනා කොරන්නෑ. තමන්ට ගැළපෙන ඒවා නොකරන උන් මට පේන්න බෑ…”

එසේ කියමින් ඔහු අඩියට දෙකට ගියේ ඔවුන්ගේ මුහුණු දෙසවත් නොබලමිනි.

“මේ… එහෙනම් හරි. ඊයේ අර සද්දෙ ඇහුණෙ ඒක තමයි. මේකා කෙල්ලට ගහලා. අනේ මන්දා මේ දේවල්වලින් අපේ ඇයිහොඳයියත් කම්මුතු වෙයි වගේ…”

මේ අතර විකසිතට දෙහිඅත්තකණ්ඩියට මාරු වීමක් ලැබිණි. ඔහුට විරුද්ධ පෙත්සම් වගයක් ඇවිත් ඇති නිසා මෙසේ කර ඇති බව එහි සඳහන් විය. මීට එරෙහිව කටයුතු කළ යුතු වුණත් කොහේ වුණත් තමාට රාජකාරි කළ හැකි නිසා ඔහු ඒ අභියෝගය භාරගත්තේය.

“අනේ මන්දා… නන්නාඳුනන පළාතක ගිහින් හරියට කන්නවත් කොයින්දැ කියලා…”

“අම්මා කලබල වෙන්නෙපා. ගුරුවරයෙක් කියන්නේ දෙවි කෙනෙක්. ඒකට තැනක් අදාළ නෑ. අනික, මට කොහෙත් එකයි. කවුරුහරි අසමජ්ජාතියෙක්ගෙ වැඩක්. ගමට හොඳක් වෙනවට ඉරිසියා උන්…”

විජේපාල කිසිත් නොකියා කරබාගත්තේය. පුතු ගමෙන් යෑම පිළිබඳ සංවේගයක් ඔහු තුළ නොතිබුණා නොවේ. ඒත් ඔහුට ඊට වඩා වැදගත් වූයේ පවුලේ ගෞරවයයි.

මාස දෙකකට පසු දිනක ඔවුන්ට ලැබුණේ නරක ආරංචියකි. ඒ, විකසිත බසයෙන් වැටී කකුලක් කැඩී රෝහල්ගත වූ පුවතකි. විකසිතගේ මව, පියා මෙන් ම සනත්ද ඒ ගමනට එක් වූහ. ඔවුනොවුන් අතර සඟවා ගත් ප්‍රශ්නය ගැන එදිනද විවෘතව කතා කළේ නැත. එවැනි ප්‍රශ්න සැඟවීම ගැමියන්ගේ සාමාන්‍ය සිරිතය.

“අනේ මයෙ පුතා, උඹට මොකද මේ වුණේ?”

විකසිත දුටු ගමන් සිරියා කෑමොර දෙන්නට විය.

“හා හා! මේක ඉස්පිරිතාලෙ. ටිකක් ඉවසල ඉන්න…”

“නෑ, එච්චර අමාරුවක් නෑ. අත ලිස්සුවා නේ. එහෙමම විසි වෙලා ගියා.”

“සනත්ට දුරකතන ඇමතුමක් ආවේ මේ අතරය. ඔහු යක්ෂාවේශ වී, පිස්සකු මෙන් හැසිරෙන්න විය. විජේපාල වහා ගොස් ඔහු මෙල්ල කර ගන්නට වෑයම් කළේය.

“මොකෝ මේ…? මොකක්ද මල්ලි වුණේ?”

“ඉවරයි… ඔක්කොම ඉවරයි… අරකි අපේ පරම්පරාවේම දැලි ගෑවා… මම ඕකි මරනවා…”

ඔහු කියන දේ උඩක් බිමක් නොතේරුණු විජේපාල තූෂ්ණීම්භූතව බලා සිටියේය… අර හිඟන කොල්ලා වසන්තයා එක්ක මේකි පැනලා ගිහින්. යකෝ උන් කවුද! උගේ අප්පා කොළේ කසිප්පු පෙරනෙක. මූ විස්සවිද්‍යාල ගියා කියලා මහ ඒජන්තද?”

එතැනට පැමිණි සිරියා ගල්ගැසී විජේපාල දෙස බැලුවාය. තමන්ට කොතැන හෝ වැරදී ඇති බව ඔවුනොවුන් ඇස්වලින් කියාගත්හ.

වසන්ත හා විකසිත දෙදෙනා ම විශ්වවිද්‍යාල වරම් ලැබුවේ එකටය. ඔහු සිය නිවෙසට ආවේ පුතුගේ කැමැත්තෙන්ය. මවුපියෝ මේ ඇසුරට එතරම් කැමැති නොවූවත්, පුතාගේ යාළුවා නිසා ඉවසා සිටියහ. එදා හාෆ්ෂීට් එකක් සොයද්දී හමු වූ ආදර කවිය ඇයගේ මතකයට නැඟිණි. එය ලියා තිබුණේ සනත්ගේ දුව වන සුදු දුවට වුණත්, ලියන්නේ කවුරුන්දැයි එහි සඳහන් නොවූ බව ඈට සිහි විය. පුතා කවි ලිවීමට රුසියකු බවද සිහි වීමත් සමඟ ඇයගේ හිතට යම් අපහසුතාවක් දැනිණි.

ඇයට හමු වූ කොළයේ තිබූ කවිය මෙසේය:

‘නිවර්තනා හෙවත් මගේම සුදු නංගී…
නුඹ ගෙල පලඳවමි කවි මල්දම්

ඔය වත කමල දකිනා විට හැම උදයේ
මගෙ හිත් විල පුරා පෙම්මල් නෙක පීදේ
හදවත පුරා පෙම් ගඟුලැල් ගලා හැලේ
සුදු නංගියේ නුඹ මගෙමයි සංසාරේ…

ඉර හඳ මත තබා දිවුරා පවසන්නම්
නුඹෙ දුක් කඳුළු මම මාගේ කරගන්නම්
ආවත් නොයෙක බාධා අත නොහරින්නම්
දිවි ඇති තුරාවට මම නුඹ රැකගන්නම්

මීට ඔයාගෙම සෙනෙහෙබර සසර උරුමක්කාරයා.’

එහි නමක් සඳහන් වූයේ නැත.

https://www.silumina.lk/2025/07/26/%e0%b7%81%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%ba-%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b7%8a%e0%b6%bb%e0%b7%84%e0%b6%ba/45408/%e0%b6%b4%e0%b7%99%e0%b6%b8%e0%b7%8a-%e0%b6%9a%e0%b7%80/?fbclid=IwY2xjawL1CuJleHRuA2FlbQIxMQABHliBlaR0yW5QA5_I_fn4nrIwHnbop9nGyoyj3IHzIia2K4eUe5UkWWOzH54e_aem_0J8oeAOz72lVToCQhSTXmg

Nihal Ananda

unread,
Jul 29, 2025, 12:39:10 PM7/29/25
to ind...@googlegroups.com
තැන්ක්ස් , කාලෙකින් කතාවක් කියෙව්වේ .  

ෆේස්බුක් එකටම හරි යන කතාවකි . 
කොහොම උනත් , අන්තිම දක්වා කියවන්නට කුතුහලයක් පෙලම්භවිමක් ඇති වුනා .
සමහර අතීත මතකත් අලුත් වුනා  !! .  
 - Hera 

--

---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
To view this discussion visit https://groups.google.com/d/msgid/indraka/CAFRcW-Loxt4cyM-ASiXccatozhtij5VHX66py9b9E28FpGbsjg%40mail.gmail.com.

Nihal Ananda

unread,
Jul 29, 2025, 12:40:54 PM7/29/25
to ind...@googlegroups.com
ඉහත කමෙන්ටුව ....... මේ කතාව ගැනයි .  
1මංමුලාව - ලක්ෂ්මී අබයසේකර 

-Hera 

Nissanka Rajapaksa

unread,
Jul 30, 2025, 7:12:55 AM7/30/25
to INDRAKA group
8
ක්ලිනික් පෝලිමේ මිතුරිය

- ශර්මිලා බන්දුනී දන්වත්ත

(බදාදා මව්බිම 'සඳහස' සාහිත්‍ය අතිරේකයෙන්).


DOC-20250730-WA0002..pdf

Nissanka Rajapaksa

unread,
Aug 7, 2025, 9:43:11 PM8/7/25
to INDRAKA group
9

ලොකු නැන්දා


නන්දිකා ලියන ගමගේ

දින කිහි­ප­යක් පුරා පැවැති සර­සවි අව­සාන විභා­ගයේ අව­සන් දිනය අදය. පෙර­දින රාත්‍රියේ නිදා­ගත්තේ පැයකි. නැත්නම් දෙකකි. අද රාත්‍රියේ ද නිදි­වරා පාඩම් කළ යුතුය. ඇඳ පුරාම පොත් විසිර තිබුණි. මා බොහෝ­විට පාඩම් කරන්නේ ඇඳ මත හිඳ­ගෙ­නය. කුඩා බෝඩින් කාම­රයේ තුන් දෙනෙකු වෙනු­වෙන්ම ඇත්තේ කුඩා මේස­යකි. එහි සිට පාඩම් කර­න­වාට වඩා ඇඳට වී පාඩම් කිරීම පහ­සුය. පොත අතට ගත් වේලේ සිටම දසුන්ගේ රුව මැවී පෙනේ. ඔහු සිහි කිරීම පවා සිතට මහත් සැන­සී­මක් ගෙන දෙයි

කොට්ටය යට වූ දුර­ක­ත­නය නාද වන්නට විය. දසුන් වෙන්න ඇති. මට සිතිණි. මම එහි මුහු­ණත නොබ­ලාම කනේ තබා ගතිමි.

“සුදු,”

කුඩ­ම්මාගේ කට­හඬ සව­නත වැටු­ණෙන් මම වහා ඇඳ මත ඉඳ­ග­ත්තෙමි. ඇය සාමා­න්‍ය­යෙන් මට කතා කර­නවා අඩුය.

“තාත්තා කිව්වා සුදුට කතා කරන්න කියලා”

“ඇයි කුඩම්මේ හදි­ස්සි­යක්ද?”

“නෑ සුදු, ලොකු නැන්දට සනීප නැතිලු, අද උදේ කොළඹ මහ ඉස්පි­රි­තා­ලෙට ගෙනත්ලු”

“ඇයි ඒ හදි­සි­යෙම… ලෙඩක් තිබුණේ නෑනේ”

“ඊයේ ගෙද­රදි වැටිලා. හව­සම ඉස්පි­රි­තාලේ ගෙනත්”

“හා කුඩම්මේ, මං ගිහින් බලලා විස්තර කතා කරලා කිය­න්නම්”

ලොකු නැන්දා සිහිව මට දුක සිතුණි. මාස තුන හත­ර­කින් ඇය බැලී­මට යාමට නොහැකි විය. වුව­ම­නා­වක් තිබුණා නම් ඇය බලන්න යන්නට වේලාව ඕන තරම් තිබුණි. ලොකු නැන්දා අපේ තාත්තාගේ අක්කාය. අම්මාගේ මර­ණ­යෙන් පසු මා රැක බලා­ගත්තේ ඇයයි. ලොකු නැන්දාගේ අහිං­සක හිනාව මතක්ව මට ඇය ගැන මහත් අනු­ක­ම්පා­වක් හිතට දැනිණි.

අම්මා නැති මට ඇය අම්මාම විය. මගේ මවගේ විත්ති මා අසා දැන­ගත්තේ ලොකු නැන්දා­ගෙනි. ලොකු නැන්දාත් මගේ මවත් යෙහෙ­ළි­යන්ය. කුඩා කල සිටම සමා­ජය ගැන මට පැහැ­දුවේ ඇයයි. තාත්තාගේ දෙවන විවා­හ­යෙන් පසු මා ඇය ළඟට ගැනී­මට ආත්තම්මා උත්සාහ ගත්තද තාත්තා එයට අකැ­මැති වීම නිසා මා තාත්තා හා කුඩම්මා සමඟ කාලය ගත කර ඇත. කල් යත්ම චූටි මල්ලිගේ උප­තත් සමඟ සිදුවූ නොයෙක් සිදු­වීම් නිසා­වෙන් ලොකු නැන්දා තාත්තා සම­ඟින්ද රණ්ඩු වී නැවත මා ඔවුන්ගේ නිව­සට ගෙන ආ හැටි මට යන්ත­මට මෙන් මත­කය. එවිට මට අවු­රුදු පහක් පමණ ඇත. මා මුලින්ම පාසල් ගියේ ලොකු නැන්දා හා තාත්තා සම­ඟය. ඇය මට පවු­ඩර් තලි­යක් ගා නළලේ ලොකු ඩොට් එකක්ද තබා තිබිණි. පාසලේ උප­දෙස් පරිදි තාත්තා කුඩා ඩෙස්ක් එකක් හා පුටු­වක්ද පසුව ගෙන ආ හැටි මට අද මෙන් මත­කය. ලොකු නැන්දා මතක් වන සෑම විටම මට ඇය මංගල දවසේ සුදු සාරිය හැඳ සිටි­නවා සිතේ මැවේ. ඇය එත­රම් ලස්ස­නට මා කව­දා­වත් දැක නැත. ඇය විවාහ වූයේ තර­මක් වයස ගිය පසුය. ඇගේ විවා­හය කල් යාමට මා ප්‍රබල හේතු­වක් වූ බව එද­වස මට නොතේ­රු­ණද අද මම එය මනාව දනිමි. එදි­නද නිය ආලේ­පන හා තොල් ආලේ­පන කිරී­මට ඇය අකැ­මැති විය. එව­කට සොළොස් හැවි­රිදි වියේ පසු වූ මා ඇගේ මුහුණේ ක්‍රීම් හා පවු­ඩර් ටිකක් ආලේප කළෙමි.

“මේ කෙල්ල මාව මොඩ් කරන්න හද­නවා”

ඇය ලැජ්ජා­වෙන් සිනා­සෙයි.

මම සියල්ල අම­තක කර පාඩම් කර­න්නට උත්සහ ගතිමි. පොත අත­රින් මට මැවී පෙනුණේ ලොකු නැන්දාගේ අහිං­සක මුහු­ණය.

විවා­හ­යෙන් පසු ලොකු නැන්දා මාමාගේ නිවසේ දමා එන්නට සූදා­නම් වූ මොහොතේ මා කෑ ගස­මින් හැඬු­වෙමි. මා හඬනු දුටු ලොකු නැන්දා මා බදා­ගෙන කෑ ගසා හැඬීය.  දුටු­වන්ගේ පවා හද­වත් උණු වී මා එහි නවත්වා ගැනී­මට මාමාගේ පාර්ශ්වයේ කිහි­ප­දෙ­නෙක් කැමැත්ත පළ කළහ. නමුත් එය නොගැ­ළ­පෙන නිසා­වෙන් ආත්තම්මා ඇතුළු පවුලේ අය එයට අකැ­මැති වූ අතර නැවත මා නිව­සට රැගෙන ආවේ බලෙන්ය. සෑම පාසල් නිවා­ඩු­ව­ක­ටම ආත්තම්මා සමඟ ලොකු නැන්දාගේ නිව­සට යන මා කෙසේ හෝ ආත්තම්මා තනි­වම එවා එහි නව­තිමි.

ඇය අහල පහල අයට මා හඳුන්වා දෙන්නේ මහත් ආඩ­ම්බ­ර­යෙනි.

“මේ අපේ ලොකු මල්ලිගේ දුව”

“ඉස්සර කට්ටිය රැව­ටෙ­නවා. අපේ අම්මගේ බාල දුව කියලා. සම­හර අය හිතන්නේ මගේ නංගි කියලා”

ඇය මා දෙස ආද­ර­යෙන් බල­මින් කියයි. එවිට මම ලැජ්ජා­වෙන් ඇඹ­රෙ­මින් ඇගේ ඇඟ වටා එතෙමි.

පාසල් යන්නට මාව සූදා­නම් කරන්නේ ලොකු නැන්දාය. සපත්තු දෙක තර­මක් පරණ වූ නිසා මම එය පල­ඳි­න්නට අදි මදි කළ­විට ඇය ඇගේ කකුල මට පෙන්වයි. කකුලේ ඇඟිලි තර­මක් ඈතය. තර­මක් අසා­මාන්‍ය ආකා­ර­යෙන් විහිදී ඇති ඇඟිලි දැක ඒ ගැන ඇගෙන් විම­සමි.

“මේ ඇයි ලොකු නැන්දේ?..” මම පුදු­ම­යෙන් විම­සමි.

“මේ ඇඟිලි පළල් වෙලා තියෙන්නේ අපි සපත්තු දාල නැති නිසා, ඔයා සපත්තු දාලා ඉස්කෝලෙ ගියාම කකුලේ ඇඟිලි ලස්සන වෙනවා” ඇය මට පහ­දයි.

නැවත දුර­ක­ත­නය නාද වන්නට විය. ලොකු නැන්දා ගැන සිහි­යෙන්ම සිටි මම ඒ කල්ප­නා­වෙන්ම දුර­ක­ත­න­යට එබී බැලු­වෙමි.

දසු­න්ගෙන් ඇම­තු­මකි. වෙනදා මට දසු­න්ගෙන් එන ඇම­තුම මහත් අග­නේය. මව­ගේත් පියා­ගේත් සෙනෙ­හස අහිමි මට දසුන්ගේ ආද­රය මහත් සතු­ටක් මෙන්ම සැන­සු­මක් ගෙන දුනි.

“පාඩම් කර­න­වාද..?”

“ඔව්, ඔයා …?”

“ම්…ඉව­ර­යක් නෑ තාම. ගෙද­රින් කතා කළා. තාත්තාට සනීප නැතිලු. මං හෙට විභාගේ ඉවර වෙච්ච ගමන්ම ගෙදර යන්න කියලා”

“එහෙ­මද? මං හවස ඔයත් එක්ක ගම­නක් යන්න හිතන් හිටියේ”

“ඒ කොහේද?”

“අපේ නැන්දට සනීප නැතිලු, ජෙන­රල් හොස්පිට්ල් එකේලු”

“දැන් මොකද කරන්නේ… ගෙදර යන්නම ඕන හෂී”

“කමක් නෑ දසූ ඔයා යන්න. මම හව­සට ගිහින් එන්නම්. තාත්තාට මොකද?”

“ඇඟට පණ නැතිලු. මහන්සි වෙන එක­මනේ වැඩේ. මං ගිහින් බලලා එන්නම්”

“හරි එහෙ­නම් උදේම එන්න”

“එහෙ­නම් විභාගේ ඉවර වෙලා දෙන්නම එකට යමු. ඔයා ජෙන­රල් හොස්පිට්ල් එක ළඟ බහින්න”

“හා…”

විශ්ව­වි­ද්‍යාල අධ්‍යා­ප­නය ලබන අතරේ මා ජිවත් වුණේ කාත් කවු­රු­වත් නැති අයෙකු සේය. උසස් අධ්‍යා­පන කට­යු­තුත්, දසුන්ගේ ආද­ර­යත් අත­රම ලොකු නැන්දාගේ විවා­හ­යත් නිසා­වෙන් මා තව තවත් ලොකු නැන්දා­ගෙන් දුරස් විය. තමා ළඟින්ම මාව තබා ගන්නට ලොකු නැන්දා සෑම අව­ස්ථා­ව­කම උත්සාහ කළද ආත්තම්මා උත්සාහ කළේ මා ලොකු නැන්දා­ගෙන් දුරස් කර තබ­න්න­ටය. ඇගේ විවා­හය පරක්කු වූවා සේම ඇගේ විවාහ ජීවි­ත­ය­ටද  මා නිසා­වෙන් ගැටලු ඇති නොව­න්නට ආත්තම්මා වග බලා ගන්නට ඇත. ඇය­ටම කියා  දරු­වන් නොමැති වීම නිසා­වෙන් ඇගේ පවුල් ජීවි­තය තුළ නොයෙක් ප්‍රශ්න ඇතිව තිබුණ බව සැමට නොර­හ­සක් විය. මා දිනෙන් දිනම දසුන්ගේ ආද­ර­යෙන් හිත සන­සා­ගත් අත­රම ඇය පාළු­වෙන් සාංකා­වෙන් දිවි ගෙව­න්නට ඇත. දසුන් වුවද මා හඳු­නා­ගෙන ඇත්තේ නිව­සින් ඈත් දරු­වෙක් ලෙසය. තාත්තා සමඟ වුවද මා කතා කරන්නේ වචන දෙක තුනක් පමණි. කුඩම්මා සම­ඟද එත­රම් සමීප ඇසු­රක් නොවීය.

දසුන් හමු වූ විටද ආදර බස් තෙප­ළුවා මිස මට ලොකු නැන්දා හා බැඳුණ ළමා කාලය විස්තර කර පව­ස­න්නට එත­රම් නොසි­තු­වෙමි. මාගේ පවුල හා සම්බන්ධ අය ගැන මා ඔහු සමඟ දොඩ­මලු වන්නට ගියේ නැත. හිතේ පාළුව හා සාංකාව නිසාදෝ මගේ හිතට දසු­න්ගෙන් තොර ලොවක් තිබු­ණේම නැත. කාල­යත් සම­ඟම මා නිව­සින් දිනෙන් දිනම ඈත් වන්නට විය.

මා පාසල් නිම වී නිව­සට එන්නේ ලොකු නැන්දා සොයා ගෙනය. දිනක් මා පාසල් ගොස් ගෙදර එන­විට සිය­ල්ලෝම තේ හේනට ගොස්ය. මම මගේ පිඟානේ බෙදා තිබෙන බත් ටික ඉක්ම­නට කා, නිවෙස පිටු­පස කන්ද අත­රින් තේ හේනට ගොඩ වෙමි.

“ආ… ඔය ඇවිත් තියෙන්නේ”

මා එන­තුරු පෙර­මඟ බලා සිටින ලොකු නැන්දා මා දෙස බලා සිනා­සෙයි. ඔළු­වට චීත්ත­යක්ද දමා සීයාගේ පරණ අත් දිග කමි­ස­යක්ද ඇඳ සිටින ඇය මැෂි­මක් සේය. ළා  කොළ පාට තේ දලු මතින් ඇගේ අතැ­ඟිලි නැටු­මක් පානා සේය. මම ගලක් උඩට වී ඈ දෙස බලා ඉඳිමි.

“සුදුත් කව­ර­යක් අරන් එන්න”

ලොකු නැන්දා මා දෙස බලා කියයි. මම කියන පමා­වෙන් ඉටි කව­ර­යක්ද රැඟෙන ඇය අස­ලට යමි.

කුඩා ගල් කැබලි දෙකක් ගෙන ඇය ඉටි කව­රයේ තැන් දෙකක තබා ලණු­වෙන් ගැට­ගසා මගේ ඉණ වටා බඳී. මම ඇය අස­ලම ගස්වල දලු නෙළ­න්නට ගනිමි.

“ලොකු නැන්දේ කොළ කීයක් එක්කද කඩන්නේ”

“ගිරි­යත් එක්ක කොළ දෙකක් වෙන්න කඩ­න්නකෝ”

මම දල්ලෙන් දල්ලට නෙළන අතර විනාඩි කිහි­ප­ය­කින් මගේ ඉටි උරයේ භාග­යක් පමණ පිරේ.

“අම්මේ බල­න්නකෝ, සුදුගෙ දලු කවරේ. මටත් වඩා දලු කඩලා”

ඇය ආත්ත­ම්මා­ටත් පවසා සිනා­සෙයි.

මගේ හිත පිරෙ­න්නට ඇය නෙළනා දලු මගේ කව­ර­යට දම­න්නට ඇති බව මා තේරුම් ගත්තේ බොහෝ කාල­යක් ගිය පසුය.

මා වැඩි­වි­යට පත් දිනයේ ලොකු නැන්දා සිටියේ මහත් සතු­ටිනි. උදෑ­සන දුටු දසු­නින් බිය­ටද කල­බ­ල­ය­ටද පත් මම ලොකු නැන්දා සොයා කුස්සි­යට දිව්වෙමි. ආත්තම්මා කුස්සි­යේය. නැවත සාල­යට දිව ආවෙමි. බාප්පා සාල­යේය.

“ලොකු නැන්දා කෝ බාප්පේ”

පත්ත­රය බල­මින් සිටි ඔහු පත්ත­රය අයින් කර මා දෙස කුහු­ලින් බැලු­වේය.

“පහළ හේනට ගියා. ඇයි මොක­ටද”

“නෑ නිකන්”

බාප්පා තවත් කිසි­වක් විම­ස­න්නට පෙර මම මිදු­ලට පැන ගතිමි.

එසැ­ණින් නිවස ඉදි­රි­පිට පාර පැන්නෙමි. හීන් දෙවැට දිගේ ගොස් දොළ පාරේ ගල් මතින් පැන එගො­ඩට ගියෙමි. නැන්දා තේ හේනේ දලු කඩ­නවා මට ඈත­ටම පෙනුණි. මම ඇය ළඟ­ටම දිව්වෙමි.

“මොකද…”

ඇය මා දැක තේ පඳුරු අත­රින් මා වෙත ඇදී ආවාය. මට ඉබේ­ටම ඇඬුණි.

“මේ…”

මම බියෙන් මෙන් මගේ ඇඳුම ඇයට පෙන්නු­වෙමි. ඇගේ දෑස සතු­ටින් ඉපි­ලෙ­න්නට විය.

“අඬන්නේ මොක­ටද සුදු, මේ හිනා වෙන්න ඕන වෙලාවේ…”

ඇය හිසේ ලා ගෙන තිබූ පාට පිච්චුණ චීත්තය ගලවා මගේ හිසද මුහු­ණද වැසෙන සේ ඇඟට දැම්මාය. ඇය දෑසේ කඳුළු පිසදා ගෙන මගේ මුහුණ ඇඟට තද කර­ග­ත්තාය. මගේ හිස සිප­ගෙන තත්පර කිහි­ප­යක් සිටි­යාය.

ඇය මාව අත් දෙකෙන්ම අල්ලා­ගෙන නිව­සට රැගෙන ආවාය.

ආත්තම්මා විස්තර අසා යක්ෂා­රඬ වී තිබුණි.

“උඹට මට කියන්න තිබුණේ නැද්ද? මේ මහ දවාලේ පාර පැනලා දොළ ගාව­ටත් ගියානේ….”

ආත්තම්මා කෝප­යෙන් කෑ ගසයි.

“අනේ අම්මපා උඹ ගියානේ, උඹේ නල්ල­මලේ ලොකු නැන්දම හොයා­ගෙන”

ඇය කම්මුලේ අත තියා­ගෙන කීවාය. එවිට ලොකු නැන්දා මහත් ආඩ­ම්බ­ර­යෙන් සිනා­සෙන හැටි අද ද මට මැවී පෙනේ.

_______

විභා­ගය අව­සන් වූ විටම දසුන්ද බයි­සි­ක­ල­යෙන් පැමිණ තිබුණි. මම එයට ගොඩ වුණෙමි.

රෝහල ළං වන විට මගේ හද ගැස්ම වේග­වත් විය. මම රෝහල අස­ලින් බයි­සි­ක­ල­යෙන් බැස ගතිමි. පසු­තැ­විල්ල සිත පුරා පැතිරී තිබුණි. දරා ගත නොහැකි දුක­කින් හද­වත ඉකි­ගසා හඬ­න්නට විය.

මම තනි­වම රෝහලේ පඩි පෙළ නැඟ ලොකු නැන්දා සොයා වාට්ටු­වට ගියෙමි.

මම හෙමින් සැරේ ඇගේ ඇඳ ළඟ­ටම ගියෙමි. මාමා මා දැක අනෙක් පසින් ආවේය. ඔහුගේ කෙට්ටු මුහුණ තවත් ඇදී ගොස් තිබුණි. මම ඔහු සම­ඟින් යන්ත­මට සිනාසී නැන්දාගේ කටු ගසා තිබුණු අතෙහි ඇඟිලි මතින් අත තැබු­වෙමි.

ලොකු නැන්දාගේ මුහුණ ගොඩක් ඉදිමී තිබුණි. ඇස් යටට ගිලී යන්ත­මට පෙනුණි. මගේ දෙනෙ­තට කදුළු ඉනුවේ නිරා­යා­ස­යෙනි. අතෙහි කිහිප පලක්ම කටු ගසා දුර්ව­ර්ණව තිබුණි. මම යන්ත­මට ඇගේ අත අත­ගෑ­වෙමි. අධ්‍යා­පන කට­යුතු නිසා­වෙන් ඇගෙන් දුරස් වූ අතරේ ඇය තනි­වෙ­න්නට ඇත. මගේ දුරස් බව නිසා­වෙන් ඇය ගොඩක් දුක් විඳි­න්නට ඇත. මට ඇය තුරුලු කරන් හඬ­න්නට සිතිණි. ඇගෙන් සමාව ඉල්ල­න්නට සිතිණි.

“නෝනා… සුදූ ඇවිල්ලා”

“නැඟි­ටලා බල­න්නකෝ, කවදා ඉඳ­ලද එන­කන් බලන් හිටියේ”

මාමා ඇගේ සව­න­තට පහත් වී පැව­සු­වේය. මට දුක වාවා­ග­න්නට බැරි විය.

“සුදූ ගැනම තමයි නිත­රම කිය­වන්නේ, ඊයේ උදෙත් සිහි­ක­ල්ප­නාව තිබුණා. සුදූ ගැනම තමයි ඇහුවේ”

මාමා කඳුළු පුර­ව­ගෙන පැව­සීය.

“ලොකු නැන්දේ, සුදූ ආවා”

මම  පැව­සු­වෙමි. ඇගේ මුහුණ අත­ගෑ­වෙමි. ඇය යන්ත­මට ඇස් ඇරි­යාය. හෙමින් හෙමින් ඇහි­පිය සැලු­වාය.  ඇය මා දෙසම තත්පර කිහි­ප­යක් බලා සිටි­යාය. ඇය මා හැඳි­න­ග­න්නට ඇත. මම දනිමි. හොඳ­ටම දනිමි. ඇය මේ ලෝක­යෙන්ම ආදරේ මටය. ආත්ත­ම්මා­ටත් මාමා­ටත් වඩා ඇය මට ආදරේ කරන බව මට විශ්වා­සය. පෙර ඇගේ ජීවි­ත­යම වුණේ මාය. අහිං­ස­කව ඇය මා දෙසම බලා සිටි­යාය. ඇගේ ඇස්ව­ලින් කිය­වෙන දේ තෝරා පහදා ගන්න­ටදෝ මම ඇය දෙසම බලා සිටි­යෙමි. ඇගේ ඇස්ව­ලට කඳුළු පිරෙ­න්නට ගියේ නිමේ­ෂ­යකි.  ඇය නැවත හිස යන්ත­මට කෙළින් කළාය. ඇගේ ඇඟිලි තුඩු යන්ත­මට ගැහෙ­නවා මට පෙනුණි. තප්පර කිහි­ප­යක් ඇඳට ඉහළ සුදු පාට දෙස බලා සිටි ඇය වේග­යෙන් ඇසි­පිය හෙළු­වාය.

“ලොකු නැන්දේ”

මම ඇගේ මූණ­ටම එබු­ණෙමි. ඇගේ අත පණ නැතුව නැවත ඇඳ උඩ­ටම වැටුණි.

“නෝනා… නෝනා….”

මාමා ද කල­බ­ල­යෙන් කතා කළේය. මට මහත් වෙන­සක් දැනුණි. මම කල­බ­ල­යෙන් වට­පිට බැලු­වෙමි. ඇස් නිලං­කාර වෙද්දි හෙදි­යන් දෙදෙ­නෙකු ඇඳ ළඟට දුව­ගෙන එනු පෙනුණි.

“අනේ ලොකු නැන්දේ” මට ඉබේම කෑ ගැසුණි. 

 

https://www.dinamina.lk/2025/08/07/featured/210607/%e0%b6%bd%e0%b7%9c%e0%b6%9a%e0%b7%94-%e0%b6%b1%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%8f/?fbclid=IwY2xjawMB74JleHRuA2FlbQIxMQABHggHQzMiPkxkOBjpQmmroBxY0rewyU18_l7tBNLABPAEUloGL4b5FYcv_5N1_aem_icpHP-UUPpRpUSgviCDEUg

Nissanka Rajapaksa

unread,
Aug 8, 2025, 7:45:03 PM8/8/25
to INDRAKA group
10
එයාලා ගමට ආපු දවසේ වැස්සා 

 - මංජුල සේනාරත්න 

අහසේ ඉඳලා පාත් වුණු සුළං රැල්ල , මුහුදු දියේ මතුපිටට වෙලා පිස්සු කෙළමින් හිටිය පියා මැස්සෝ දහස් ගාණක් උඩට අරං ගිහින් , වලාකුළු අතරේ පොඩි විසිට් එකක් දීලා මහා පොළොවට ඇතෑරියා. එයාලා ගමට ආපු දවසේ වැටුණු වැස්සත් එක්ක පියා මැස්සොත් බිමට වැටුණා . ඒ වැස්ස දවස් කීපයක් තිබ්බා . එයා මුළින්ම ඉස්කෝලේ ආව දවසේ හිරිකඩ මිසක් වැස්ස නැවතිලා තිබුණා . 

එයා වෙනස් . කෙල්ලෙක් කිව්වට කොල්ලෙක් වගේ . ඇවිද්දේ , කතාබහ කෙරුවේ , හැසිරීම හැම දෙයක්ම කොල්ලෙක් වගේ . පන්තියට ආපු පළමු දවසේම හැමෝම එක්ක මිත්‍ර වුණා . මගේ ළඟටත් ඇවිත් හායි කිව්වා . ෂෙනාලි එයාගේ නම . ඉගෙන ගන්න වැඩි දක්ෂ කමක් පෙන්නුවේ නැහැ . එයාගේ ප්‍රියමනාප පෙනුම නිසා ගුරුවරු ආදරේ කෙරුවා . කොල්ලෝ කෙළ හැලුවා . කොටම කොට කොට කලිසමක් ඇඳගෙන එයා නෙට් බෝල් ගහන කොට අපි හැමෝගෙම කෙළ බින්දු වැටිලා පොලොව තෙත් වුණා . ඒ පොළොවේ ආසාවේ සහල් පැල පැලවෙලා , කිරි වැදිලා කරල් මෝරන්න පටන් ගත්තා . ඒ කරල් දිහා බලා ඉන්නවා හැරෙන්න වෙන කළ හැකි දෙයක් අපිට තිබුණේ නැහැ . 

මේ කෙල්ලගේ ක්‍රීඩා දක්ෂතාවය ගැන හැමෝම පුදුම වුණා . ආරංචියක් ආවා එයාගේ අම්මා ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් ගිය බැඩ්මින්ටන් කණ්ඩායමක සාමාජිකාවක් කියලා . තාත්තා මල්ලව පොර ශූරයෙක් කියලා . ෂෙනාලි හැම ක්‍රීඩාවකටම දක්ෂයි . පාසල වෙනුවෙන් පදක්කම් දිනා ගත්තා . සමස්ත ලංකා තරඟ වලටත් ඉදිරිපත් වුණා . පදක්කම් එකපිට එක . ඒ දවස් වල සඳුදා උදේ රැස්වීමට එයාව හැමදාම ගෙන්නලා සුබ පතනවා .  

 මොනවා වුණත් එයාගේ තිබ්බේ කොලු පෙනුමක් . පියකරු කොලු පෙනුමක් .

 එක දවසක් ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකේ අපි ක්‍රිකට් ගහමින් හිටියා . මම "සිලි පොයින්ට් " පන්දු රැක්කා . අපි හැමෝගෙම ඇස් තිබුණේ ග්‍රවුන්ඩ් එකේ කෙළවර කවපෙත්ත විසි කරන්න පුරුදු වෙන ෂෙනාලි ගේ ලස්සන පාද දිහාට එල්ල වෙලා . එක වෙලාවක අකිල උඩ පන්දුවක් දුන්නා . ඒක අල්ල ගන්න මම දුවද්දී ෂෙනාලි විසි කරපු කවපෙත්ත ඇවිත් මගේ පපුවේ වැදුනා . මට සිහිය නැති වුණා . ඇහැරෙන කොට මම හිටියේ ප්‍රින්සිපල් ගේ ඔෆීස් එකේ . පුටුවක දිගා වෙලා . 
"සොරි නුවන් ..මම දැක්කේ නැහැ ඔයා කැච් එක අල්ලන්න දුවගෙන එනවා .."
"කැච් එක මට මිස් උනාද ..?" 
"ඔව් . ඔයාට කොහොමද ..? පපුව රිදෙනවද ..?" අපි දෙන්නා සමීප වුණේ ඒ විදිහට . එතන ඉඳන් එයා හැමදාම මාත් එක්ක කතා කරන්න පටන් ගත්තා . එයා විසි කරපු කවපෙත්තට ඉනාවක් දාලා තියෙන්න ඇති කියලා මට හිතුනේ , ඒක පපුවේ වැදුණු දවසේ ඉඳන් මගේ හදවත එයා ගැන ඇති වෙච්ච ආදරයකින් පිරිලා ගිය නිසා . 

ඒ ආදරේ ප්‍රකාශ කරන්න මට හිතුනේ නැත්තේ එයා ගැන අමුතු හැගීමක් ඇති වෙලා තිබුණ නිසා . සමහර විට එයාගේ තිබුණේ පියකරු කොලු පෙනුම නිසා වෙන්න පුළුවන් . උසස් පෙළට පස්සේ ෂෙනාලිව මම දැක්කේ නැහැ . එයාලා ගමෙනුත් ගිහින් තිබුණා . ගියාට පස්සේ වැස්සේ නැහැ . දිගු නියඟයක් ආවා . 

උඹ ගෑනියෙක් ගෙනාව දවසට , මේ ගේ ඇතුලේම ලගින්නේ නැතුව , ගෑනිත් එක්ක කොමල කරන්න , තව තට්ටුවක් හදා ගනිං කියලා කියන අම්මා ගේ කරච්චලය ඉවසා ගන්න බැරිම තැන , ගෘහ නිර්මාණ ශිලිපියෙක් ගෙනල්ලා , වැඩේ ප්ලෑන් කරලා ඇස්ටිමේෂන් එක දුන්නාම , වැඩේ ඉවර කර ගන්නම් නම් බෑන්ක් ලෝන් එකක් ගන්න වෙන බව පසක් කර ගත් මම මහරගම සම්පත් බැංකු කාර්යාලයට ඇතුළු වුණාට පස්සේ , මගේ ඇස් , කන් , නාසය විතරක් නෙමෙයි හදවත පවා සොයමින් සිටි සම්පත මට හම්බ වුණු බව තේරුම් ගියේ ෂෙනාලි මගේ ඉදිරියට එනවා දැක්කාමයි . 

ඒ වාක්‍යය දිගයි . මටම තේරෙන්නේ නැහැ මොකක්ද ලියවුණේ කියලා . හදවත බලාගෙන හිටි ගැහැනිය දුටුවාම එහෙම වෙනවා . ලියන වාක්‍ය දිගු වෙනවා . තේරුමක් නැති වෙනවා . හරියට බොළඳ ආදරයක් වගේ .  

"නුවන් ..මේ ඔයාද ..?"
"ෂෙනාලි ඔයාද මේ ..? සාරියක් ඇඳලා .." මම නිකන් කුච් කුච් හෝතා ෆිල්ම් එකේ ශාරුක් කාලෙකට පස්සේ කාජල් ව දැක්කා වගේ එයා දිහා බලාගෙන හිටියා . කොට කලිසම ගහගෙන රිටි පැන්න , ග්‍රවුන්ඩ් එක වටේ දුවපු කෙල්ල සාරියක් ඇඳලා . ගෑනියෙක් වෙලා . 
ඔයා දැන් ස්පෝර්ට්ස් කරන්නේ නැද්ද ..? පැය භාගෙකට විතර පස්සේ මම ඇහුවේ එයා මගේ ලෝන් එකට අදාල ෆයිල් එක බල බල ඉද්දී .
"කරනවා . දුවනවා . පනිනවා . ජීවිතේ කියන්නේම සපෝර්ට් එකක් නේ . ලෝකේ තියන භයානකම ක්‍රීඩාව . අවදානම වැඩිම ක්‍රීඩාව . මිලියන ගානක් තරඟ කරනවා . දිනන්නේ කීප දෙනයි .." මම හිනා වුණා . දැන් ෂෙනාලි හරිම ලස්සනයි . කොලු පෙනුම නැහැ . ඒ වගේම දාර්ශනික අදහස් දානවා . මෙසේ උඩ පොතකුත් තිබුණා . මම අහලා තියනවා පොත් කියවන ගෑනු භයානකයි කියලා . ස්පෝර්ට්ස් කරන ගෑනු භයානකද ..? මම දන්නේ නැහැ . 
"ඔයා බැඳලද ..?"
"නැහැ ..ඔයා ..? "
"නැහැ .."
තවත් මාස දෙකකට පස්සේ මහරගම "විජයන්ති මාලා කූල් හබ් " එකේදී ෆලූඩා වීදුරුවක අන්තිම අඩිය ඉවර කරමින් ඉන්න කොට මම ෂෙනාලි ගෙන් ඇහුවා ඔයා මාව බඳින්න කැමතිද කියලා . ඒ වෙලාවේ වීදුරුවේ අඩියේ , උරන බටයත් එක්ක හැංගිමුත්තන් කරමින් හිටි කස කසා ඇට දෙකක් එයාගේ ඉරිල්ලට අහුවුණා . එයාගේ ඉරිල්ලේ අමුතු ගැම්මක් තියනවා කියන එක ඒ වෙනකොටත් මම නෝට් කරගෙන හිටියේ . මගේ ප්‍රශ්නය නිසා එයාගේ ඉරිල්ලේ වේගය දෙගුණ වෙලා කස කසා ඇට දෙක ඉස්පොල්ලේ ගියා . එයා කැස්සා . මම නැගිටලා ගිහින් එයාගේ පිටට ගැහුවා .
තවත් මාස හයකට පස්සේ අපි බැන්දා . එදා වැස්ස . පියා මැස්සෝ වැටුණා . පූසෝ උන්ව අල්ලාගෙන කෑවා . කාලා කීප දෙනෙක් මලා . ගමේ මිනිස්සු මැරිච්ච පූසෝ වෙනුවෙන් බලු කපුටු දානයක් දුන්නා . 

ලෝන් එක පාස් වෙච්ච නිසා උඩ තට්ටුව හැදුවා . එක පැත්තක ෂෙනාලි එයාට පොඩි ජිම් එකක් දාගත්තා . අම්මා වැඩි කාලයක් ගෙදර හිටියේ නැහැ . එයා මුළු ගේම අපිට දීලා නැන්දලා ගෙදර පදිංචියට ගියා . 
"මොකද බං අර ළමයා රෑට කෑගහන්නේ . අර ටෙනිස් ගහන කෙල්ලෝ ඈහ් ඈහ් ගානවා වගේ .."
"එයා එහෙම තමයි අම්මේ හැම දේම කරන්න ස්පෝර්ට්ස් කරනවා වගේ .." 
"අනේ මන්ද ගිය සුමානේ පිං ලිඳේ පීනනවා මම දැක්කා . දිය බරි ත් බය වෙලා වගේ බලාගෙන හිටියා .."

ඒ තමයි මගේ ගෑනි . ස්පෝර්ට්ස් කරපු ගෑනු භයානකයි . හැම දේටම එයාලා ක්‍රීඩාව සම්බන්ධ කර ගන්නවා . 

රෑට , අපේ යහනේදී එයා මගේ දිහා බලා ඉන්නේ කැරම් බෝඩ් එකක ඉත්තෝ දිහා බලනවා වගේ . 
"මොනවා හරි කියන්න .." එයා කියනවා .
"අපි දෙන්නා ආදරෙන් බැඳිලා ඉන්න මේ වගේ වෙලාවට , අපේ සිරුරු බැඳිලා තියන මේ වගේ වෙලාවට මම කැමතියි මගේ ගෑනි , මගේ මිනිහා වෙනවා නම් .." මටත් හිතා ගන්න බැහැ ඒ කතාව මගේ කටට කොහෙන් ආවද කියලා . ෂෙනාලි ට මගේ සිරුර ස්විමිං පූල් එකක් වගේ පෙන්න ඇති . එයා දෑත් , පයේ ඇඟිලි වල ගාවලා ඒ පූල් එකට පැන්නා . හුස්ම නොගෙන , දිය යටින් මීටර කීපයක් කිමිදිලා ගිහින් , එකපාරම දියෙන් ගොඩ ඇවිත් මගේ දෙනෙත් වලට හොඳින් ඉලක්කය අල්ලලා හීයක් මුදා හරිනවා වගේ රති සුසුමක් මුදා හැරියා . මුළින්ම එයා පීනුවේ නිදහස් ආර . ඊට පස්සේ සමනළ ආර . එයා මේ යන්නේ පදක්කම් දිනන ගමනක් බව මම දන්නවා . මගේ සිරුර නැමැති තටාකයේ එහා මෙහා පිහිනන්න , කිමිදෙන්න විනාඩි 40 ක් විතර එයා ගත කෙරුවා . අවසානයේදී මල්ලව පොර ශූරයෙකු වගේ මගේ සිරුර , යහනට තද කරළා , මුහුණට එබිලා "Good Morning වස්තුව " කියලා කිව්වා . 

මම දැනගෙන හිටියා අපේ අම්මා ෂෙනාලි ට කැමති නැති බව . වැඩට යන්න සාරියක් ඇන්දත් මගේ ගෑනි ගෙදර හිටියේ පට්ට කොට කළිසමක් ඇඳගෙන . එයා ඇවිද්දේ තුන් පිම්ම පනින්න දුවන ක්‍රීඩිකාවක් වගේ . කතා කෙරුවේ නෙට්බෝල් කණ්ඩායමක නායිකාවක් වගේ . නිකං ඉන්නකොටත් උස පනිනවා වගේ එක තැනම උඩ පැන්න . නැන්දම්මලා ලේලියට කැමති නැත්තේ තමන්ගේ පුතා සම්බන්ධයෙන් තමන්ට වෙනස් කරන්න බැරි වෙච්ච දේවල් ලේලිට වෙනස් කරන්න පුළුවන් වුණා නේද කියලා දැනෙන නිසා . පුතා ගැන තිබ්බ අධිකාරිය වෙන ගෑනියක් අතට පත් වෙච්ච හින්දා . ෂෙනාලි හැම අතින්ම මාව එයා යටතට ගත්තා . ඇත්තටම එයා පිරිමියා වුණා කිව්වොත් හරි . 

ඒත් මම කැමැත්තෙන් එයාට යටත් වුණා . සමහර මිනිස්සු ආසයි තමන්ගේ ජීවිතේ , නිවසේ පාලනය තමන්ගේ ගෑනි අතට දෙන්න . ෂෙනාලි අපේ ජීවිත වල හොඳ නරක සමබර කර ගත්තේ , හොකී පිත්තෙන් පුංචි බෝලය ඒ මේ අතට හරවා හරවා යනවා වගේ . ප්‍රශ්න දිහා එයා බැලුවේ දක්ෂ වෙඩික්කාරයෙක් වගේ එක ඇහැක් පුංචි කරළා . ඒ වගේම එයා ඉලක්කෙට උත්තරේ හොයා ගත්තා . 

එයා වේගෙන් ඇවිද්දා . දුවන්න ඕන වෙලාවට දිව්වා . ප්‍රතිවාදියා ගැන කිසිම සැළකීමක් දැක්වුවේ නැහැ . දිනුම් කණුව ළඟට එනකං ආයේ හැරිලා බැලුවේ නැහැ . ෂෙනාලි ගේ සිරුරේ තිබුණා දශ ප්‍රයාමයේ ඉසව් දහයම . ඒවා එයා අඩුවැඩි වශයෙන් අපේ දෛනික දිවියට උපකාර කර ගත්තා . හොඳ නායිකාවක් වගේ එයා අවශ්‍යම වෙලාවේදී නිසි තීරණය ගත්තා . සූක්ෂ්ම විදිහට අනාගතය දිහා බැලුවා . 

එක අතකට මට හිතුනා මේ ලෝකේ හැම ගෑනියෙක්ම ස්පෝර්ට්ස් කරපු ගෑනියෙක් නේද කියලා . එයාලා මගේ ගෑනි වගේ දුවලා , පැනලා , වොලිබෝල් , නෙට්බෝල් ගහලා පදක්කම් දිනලා නැති වෙන්න පුළුවන් . ඒත් අපි පිරිමි වගේ නෙමෙයි හැම ගෑනියෙක්ම සුපිරි ක්‍රීඩිකාවක් . ජීවිතය ක්‍රීඩාංගනයක් කර ගත්ත ක්‍රීඩිකාවක් . එයාලා ගහන ගේම් එක හින්දා , එයාලා ගේම් එකේ හරියාකාරව යෙදිලා ඉන්න හින්දා තමයි පිරිමි අපි තරගයෙන් ජය ලබන්නේ . අපේ තරඟය තියෙන්නේ බොහොම ටික වෙලාවයි . ඒත් ගැහැනු එහෙම නෙමෙයි . දවසේ පැය විසි හතරම , දවස් තුන්සිය හැට පහ පුරාම එයාලා නොනවත්වන තරඟයක යෙදිලා ඉන්නවා . ඒත් කවදාවත් පදක්කම් දිනා ගන්නේ නැහැ . 

ෂෙනාලි ගේ දරු ගැබට මාස හත පිරෙන කාලේ දවසක මට දරුණු උණක් හදුනා . ඇඳෙන් බිමට බහින්න බැරි වුණා . 
"අම්මේ , ෂෙනාලි එක්ක ක්ලින්ක් එකට ගිහින් එන්නකෝ . මට කිසිම පණක් නැහැ .." ඒත් අම්මා බැහැයි කිව්වා . සමහර වෙලාවට අම්මලා පිස්සු කෙළිනවා . කිසිම හේතුවක් නැතුව ලේලි එක්ක පැටලෙනවා . 
"කමක් නැහැ අනේ . මම පික් මී එකක් දාගෙන ගිහින් එන්නම් .. " ෂෙනාලි කිව්වා . 

එයා එළියට බැහැලා පැයක් විතර යන මහා වැස්සක් වහින්න පටන් ගත්තා . ඒක දරුණු වැස්සක් . මම දන්නවා අවුලක් වෙන්න නැති බව . ඒත් පුදුමයකට වගේ අම්මා කළබල වුණා . ගේ පුරාම දුව දුව ලොකු කුඩේ හොයන්න පටන් ගත්තා . 
" අනේ අර කෙල්ල තෙමෙයි .. " කියලා කිව්වා .
"මොකද ඔයාට කවදාවත් නැති ආලයක් ආවේ ෂෙනාලි ගැන .. " ඒ වෙලාවේ අම්මා මගේ මූණට ලං වුණා .
" පුතේ ..අපි ගෑනු කියන්නේ පරදින්න කැමති නැති ජාතියක් . අර උඹලා කියනව වගේ ගෑනු අපි නිතරම ඉන්නේ ගේමේ . අපි ගේම අතාරින්නෙ නැහැ පුතේ හරි හමං සාධාරණ හේතුවක් නැතුව . හැබැයි මට දැන් හිතුනා නැන්දම්මා - ලේලි තරගයෙන් පරාද වෙන්න ඕනා කියලා .."
" මොකක් ..? "
"ෂෙනාලි කියන්න මට වැඩිය හොඳ තරඟකාරියක්. මම තරඟයෙන් අයින් වෙන්න තීරණය කෙරුවා . " එහෙම කියපු අම්මා ලොකු කුඩය අරගෙන ඉස්තෝප්පුවට වෙලා පික් මී වාහනේ එනකං බලා හිටියා . අපේ ගේත් මහ පාරත් අතර පොඩි දුරක් තියනවා . වාහනේ වත්ත කෙළවරේ නවත්තනවා දකින අම්මා කුඩේ ඉහළගෙන එළියට බැස්සා . වාහනේ ළඟට ගිහින් ෂෙනාලව කුඩේ යටට ගත්තා . අම්මාගේ වම් අත ෂෙනාලි ගේ උරහිස වටා ගියා . ඒ වෙලාවේ මගේ ජීවිතේ ගැහැනු දෙන්නා එකිනෙක දිහා බලලා හිනා වෙනවා මම දැක්කා .

එයාලා හෙමින් හෙමින් ගෙට ආව . ඇවිත් ගෙයි පඩියට දෙන්නම දකුණු කකුල තිබ්බේ එකම වෙලාවේ . තරඟය සමයි . ජයග්‍රහණය දෙන්නාටම බෙදිලා ගියා . 
එදා හවස් වෙනකොට මගේ උණ හොඳ වෙලා තිබුණා .


Nissanka Rajapaksa

unread,
Aug 9, 2025, 7:59:40 PM8/9/25
to INDRAKA group
11
කලකිරීම

- ජී බී සේනානායක 


Nissanka Rajapaksa

unread,
Aug 10, 2025, 8:09:59 PM8/10/25
to INDRAKA group
12
වංචාව

- ෂර්මිලා බංදුනී දංවත්ත 

Nissanka Rajapaksa

unread,
Aug 11, 2025, 8:04:06 PM8/11/25
to INDRAKA group
13
දාවිත් අයියා

- ගුණදාස අමරසේකර 

Nissanka Rajapaksa

unread,
Aug 12, 2025, 8:34:16 PM8/12/25
to INDRAKA group
14
මහ පොළොව 

- රයන් අල්මේදා

Nissanka Rajapaksa

unread,
Aug 13, 2025, 8:09:38 PM8/13/25
to INDRAKA group
15

රතු සඳ

වියට්නාම් ජාතික Phuoc Hoi ගේ Red Moon  කෙටිකතාවේ පරිවර්තනය : එම්.එම්. පාලිත මහින්ද මුණසිංහ විසිනි 


තුනී මිහිදුම් පටලය ඔස්සේ සදාහරිත රබර් යාය දෙසට සෝ හන්ග් තම දෑස යොමුකර සිටියේය. වයස අවුරුදු අසූවේ පසුවුවද ඔහුට පැහැදිලි පෙනීමක් තිබුණි. නමුත් ඔහුගේ මතකය අනිත්‍යබවේ ධර්මතාවයට අනුව දෙදරුම් කමින් තිබුණි. වැසි සමය පැමිණෙන සෑම අවස්ථාවකදීම, සුව නොවූ තුවාලයක් වැනි අතීතයකින් ඔහුගේ සිත පෑරුණි. දැනට වසර හතළිහක් ගතවී ඇතත් ඒ භයානක රාත්‍රියේ සිදු වූ දෙය තවමත් ඔහු තුළ හොල්මන් කළේය.

”‍බොහෝ වෙලාවට ඒක මගේ ජීවිත කාලය පුරාම මා සමඟ ඉඳීවි!”‍ සෝ හන්ග් ඔහුගේ දිවෙන් ශබ්දයක් නැගීය.

චන්ද්‍ර දින දර්ශනයේ මුල් මාස අටේ සෑම දිනකම දහවල, මෙම මායිම් ප්‍රදේශයට වැසි ඇද හැළුණි. සමහරවිට ඒවා තද වැසි විය. විටෙක වැස්ස සෙමෙන් බොහෝ වේලාවක් ඇද හැළුණි. යමෙක් අතුරුදහන්වී ඇති බවක් සෝ හන්ග්ට හැගුණෙන්, හදිසියේම තම බිරිඳ දෙසට හැරී මෙසේ විමසීය.

”‍මට මේ අවුරුද්දේ තෙන්ව දැකගන්න නොලැබුණේ ඇයි? සෑම අවුරුද්කම මේ කාලයේදී, එයා අපේ නිවස පසුකර ඇවිදිනවානේ. මට එයා ගැන හරිම දුකයි!”‍.

කුඩා දැරිය දැන් වයස අවුරුදු හැටකට ආසන්න කාන්තාවකි. සෑම සරත් උත්සව සමයකම මැදභාගයේ ඈ මෙහි පැමිණ මායිම් ප්‍රදේශයේ රබර් යාය ඔස්සේ ෂා මට් මායිම් දොරටුව දක්වා විහිද යන තාර පාර දිගේ ඉබාගාතේ ඇවිද ගියාය. ටෑන් තාන් කුඩා ගම්මානයේ වැඩිහිටියන් ඒ රුව ගැන හොඳට හුරුපුරුදුව සිටියේය. එය ඔවුන්ට මතක්කර දුන්නේ ලී කණුවක් කපා එහි තියුණු පිහියකින් නොමැකෙන සලකුණක් ඉතිරිකර ඇතිවාක් මෙනි.

පුර පසළොස්වක හ‍ඳේ මායාකාරී ආලෝකය මායිම් ප්‍රදේශයෙන් අඩක් පුරා පැතිර තිබුණි. කුඩා නිවසක ගුලිවී නිදන අයෙකුගේ ගොරවන හඬ ඇසෙන්නට විය. ඈත වනාන්තරයේ අඳුරු පසුබිමේ දැල්වෙන ලාම්පු කිහිපය කලාමැදිරියන් මෙන් දිස්විය. ඒ සාමකාමී නිශ්ශබ්දතාවය තුළ, දේශසීමාව තරණය කරමින් දරුණු අපරාධයක් කිරීමට මිනිස් ස්වරූපයෙන් නිහඬව පැමිණෙන තිරිසනුන් ගැන කිසිවෙකු නොසිතන්නට ඇත. වෙඩි හඬ පැතිර ගියේය. ඒ සමගම පිදුරු සෙවිලි කළ වහලවල් මත ගිනි දැල්වුණි.

අහසත් පොළොවත් කම්පා කරවමින් බියකරු, වේදනාකාරී කෑගැසීම් නැඟී ගියේය. සීතල තුවක්කු කටවල් මගින් වික්ෂිප්තවූ මුහුණු මිදුලට රැගෙන එන ලදී. සිදුවන්නේ කුමක්දැයි දැන ගැනීමටත් පෙර, ඔවුන්ගේ හිසට උදළු සහ පොලු‍වලින් දරුණු පහරවල් එල්ල විය.

මත්පැන් දුගඳ අවට පැතිර ගියේය. කෙමර්රූජ් සොල්දාදුවන් තම ගෙල වටා ස්කාෆ් දවටා ගෙන තිබුණි. දෑත්වල ආයුධ විය. අඳුරු රාත්‍රියක මෙන් ඔවුන්ගේ මුහුණු සැඟවී තිබුණි. දෑස පමණක් රුදුරුකමෙන් හා කෲරත්වයෙන් දිදුලන්නට විය. දූෂණය කරන ලද කාන්තාවන් කුරිරු ලෙස වෙඩි තබා ඝාතනයකර තිබුණි. දරුවන්ට නපුරු ආත්මයන්ගේ අත්වලින් බේරීමට නොහැකි විය. සොල්දාදුවන්ගේ අපරාධ නිසා සඳ එළිය හදිසියේම ලේ වලින් තැවරුනු සේ මැකී ගියේය.

උමඟේ මුවදොර අසල තෙන් ගුලිවී වාඩිවී, ඇයගේ මාස හතරක් වයසැති දරුවා තම පපුවට තුරුළුකරගෙන තදින් අල්ලාගෙන සිටියා ය. ඈ පිටුපසින් සිටි වැඩිහිටියන් සහ දරුවන් අටක හෝ නවයකගේ හදවත් ස්පන්දනය වන හඬ තෙන්ට තවදුරටත් පැහැදිලිව ඇසෙන්නට වූවාය. මරබිය ඔවුන්ගේ පපු මතටම බරව පැවතුණි.

උමගෙහි තෙතමනය සමග වූ පුස් ගඳ නාස්පුඩු තුළ රැඳී තිබුණෙන් සියල්ලෝම එය දරා ගැනීමට උත්සාහ කළහ. ම්ලේච්ඡ සොල්දාදුවන්ගේ කෲරත්වය ඉදිරියේ දුර්වල වූ අසරණ මිනිසුන්ගේ කෑගැසීම් අනුකම්පා සහගත විය. මෘගයන්ගේ ඉතා විශාල පියවර හඬ තෙන්ගේ හදවතට මිටි පහරවල් මෙන් විය. උන්ගේ හමුදාව උමඟ සොයා ගතහොත් ඇති විය හැකි නරකම දේ ගැන සිතමින් ඈ වෙව්ලන්නට වූවාය.

හදිසියේම ඇයගේ දෑතමත දඟලන දරුවාගේ මුහුණ තම පිරුණු පියයුරු මත සිටිනසේ තෙන් ඉක්මනින් එක පැත්තකින් ඇයගේ දරුවාගේ කට ළංකර තද කළාය. ටික වේලාවකට පසු, දරුවා නැවතත් අඬන්නට විය. මිනිස් දහඩියෙන් පිරුණු වාතය සහ උමඟ තුළ වූ පුස් ගඳ දරුවාට අපහසුතාවයක් ඇති කළේය. නිහඬතාවය තුළ දරුවාගේ හැඬීම සෙමින් වුවද පැහැදිලිව ඇසෙන්නට විය.

තෙන් පිටුපසින් සිට කිසිවෙකු රහසින් මෙසේ කීවේය.

”‍නමෝ කුවූ ඛෝ කුඕ නන් ක්වාන් තේ අම් බෝධිසත්ත්ව…”‍ තෙන්ට තමා දෙස බලා සිටින මංමුලා වූ පිරිසගේ දෑස් ගැන සිතාගත හැකිවිය. දරුවාගේ කෑගැසීම උමඟෙන් පිටතට කාන්දුවී යක්ෂයින්ගේ කන්වලට ළඟාවේ දැයි තෙන් විමසිලිමත්ව සිටියාය. තමා සමග සිටින අට දෙනාගේ හෝ නව දෙනාගේ ඉරණම ගැන සිතමින් ඈ බිය වූවාය. ඔවුන්ගේ හිසට වදින උදළු පහරවල්, කළු තුවක්කු වල කටෙන් පිටවන වෙඩි පහරවල්, අත්බෝම්බ ගැන සිතමින් තෙන් … නැත. එය එසේ විය නොහැකිය.

තෙන් නැවතත් ඇයගේ පපුවට දරුවාව තවත් තද කර ගත්තේය. උණුසුම් මෘදු කිරි සුවඳැති පියවුරු දරුවාගේ මුහුණෙන් වැසී ගියේය. හුස්ම හිරවීමෙන් දරුවාගේ හැඬීම ගොරෝසු විය. දරුවා අත්-පා ගසමින් හා පොරබදමින් සිටියේය. දරුවා අතහැරියහොත් සියල්ල අවසන්වන බව තෙන් දැන සිටියේය. පියවර පහක් පමණ දුරින් කල්ලිය තවමත් දරුණු ලෙස කෑ ගසමින් සිටියේය. කිසියම් හේතුවක් නිසා තෙන්ගේ දෑත් දරුවා වටා තව තවත් තද විය. ඒවා තව තවත් තද විය… තෙන්ගේ මනස හිස් විය.

වේදනාවෙන් පෙළුණු දරුවා තම මවගේ පපුවෙන් හිස ඉවතට ගැනීමට උත්සාහ කළේය. එය ක්‍රමයෙන් දුර්වල විය. හදිසියේම දරුවා තෙන්ගේ දෑත්වල සිරවී නිශ්චලව සිටියේය. මවගේ උණුසුම හා සුවඳැති කිරි සමග ඒ දෑස් සදහටම වැසී තිබුණි. ම්ලේච්ඡයින් නිසා ඇති වූ මරණයේ දුර්ගන්ධය සෝදා හැරීමට අහස කෝපයෙන් ජලය වත් කරන බවක් ඇසෙන්නට විය. චිරිචිරි හඬ නිකුත් කරමින් මළ සිරුරුවලින් පිරුණු බිම මත අළු ගොඩවල් ඒවනවිටත් තදින් දුම් දමමින් තිබුණි. ලේ සුවඳ, පිළිස්සුණු මස් සුවඳ, සාමකාමී කුඩා ගම්මානය පුරා දුම සමග පැතිර ගියේය.

වැහි බිංදු අනුකම්පා විරහිතව තෙන්ගේ මුහුණට පහර දුන්නේය. ලේවල දුර්ගන්ධය ජලය සමග උමඟට ගලා එන බවක් පෙනෙන්නට තිබුණි. සියළුම මුහුණු එය නිහඬව විඳදරාගත්තේය. වෙඩි හඬ ක්‍රමයෙන් අඩුවිය. වන සතුන්ගේ ගර්ජනාව ද මායිම දෙසින් අතුරුදහන් විය. වැස්ස හදිසියේම නතර විය. අහස අමුතුම ආකාරයකට පැහැදිලි විය.

රතු පැහැයෙන් දිලිසෙමින් බටහිර දෙසට සඳ නැඹුරුව තිබුණි. නැගෙනහිර ක්ෂිතිජයේ උදෑසන තාරකාව වෙව්ලන්නට විය. දරුවාගේ සිරුර නින්දෙන් ඇවිදින්නෙකු මෙන් උමග තුලට පාවී ගියේය. ඇයගේ හිසකෙස් අවුල් වී තිබුණි. තෙන් පිටුපසින්, අට දෙනෙකු හෝ නව දෙනෙකු තරු වලට නමස්කාර කරන්නාක් මෙන් දණ ගසා සිට අනතුරුව සෙමින් තම නිවෙස් දෙසට ඇවිද ගියහ. ශෝකබරිතවූ මුළු ප්‍රදේශයම හදිසියේම බියකරු නිශ්ශබ්දතාවයක ගිලී ගියේය.

සරත් සෘතුවේ මැද සමයේ උත්සව දින රාත්‍රියේ ටැන් තාන් ගම්මානයේ තරුණ හා මහලු‍ හයසියයකට ආසන්න පිරිසකගේ ජීවිත බිලිගෙන තිබුණි. කැබලි කරන ලද මළ සිරුරු යට පුපුරණ ද්‍රව්‍ය තැබීමට තරම් සොල්දාදුවන්ගේ හදවත් කුරිරු විය. තම ආදරණීයයන් භූමදාන කිරීමේදී තවත් බොහෝ දෙනෙක් මිය ගිය අතර තුවාල ලැබූ සමහරු දෙවරක් මිය ගියහ.

බොහෝ අය බියෙන් හොල්මන් කරන රට හැර ගොස් විදේශගත වූහ. මාසයකට ආසන්න කාලයකට පසු, සෑම දහවල්කම අවපැහැගත් ස්කාෆ් එකකින් ඔතාගත් බෝනික්කෙකු රැගෙන, මංමාවත් වල ඇවිදිමින්, ඇයගේ කෝපාවිශ්ඨ දැසින් දුර බලා සිටින කෙට්ටු කාන්තාවක් සිටියාය. ඇයගේ දරුවාගේ භූමදාන කටයුතු පිළිබඳ කතාව පැවසූවිට බොහෝ දෙනෙකුගේ දෑස්වල කඳුළු එක්රැස් වුණි. තරුණ මවගේ හද කම්පා කරවන කෑගැසීමට සියල්ලන්ටම කඳුළු නවතා ගත නොහැකි විය.

කාන්තාව භාවනාවක නිරතවන්නාක් මෙන් සෙමින් ඇවිද ගියාය. මායිමේ දහවල් හිරු එළිය අඳුරු රබර් වනාන්තරයේ සශ්‍රීක හරිත පැහැය පිටුපස ඒ රුව නිහඬව අතුරුදහන් විය. භාණ්ඩ පටවා ගත් රික්ෂෝ කිහිපයක් මායිම් දොරටුව දෙසට ගමන් කළේය. සවු හන්ග් සතුටින් හයියෙන් කෑ ගැසුවේය.

”‍තෙන් ආපසු ආවා වගේ!”‍

තෙන් සෙමෙන් සවු හන්ග්ගේ නිවසට යන පටුමගට ඇතුළු විය. අඳුරු නිල් පැහැති ඇඳුම් නිසා තෙන් වෙනත් ලෝකයකින් ආපසු පැමිණි අභූත සතෙක් බව සෝ හන්ග්ට පෙනුණි. ඈ අඩක් අළු පැහැති හිසකෙස් ඉහළටකර බැඳ තිබුණි. දෑස එතරම් ගුප්ත නොවූ නමුත් දුක්බර විලාසයක් ගත්තේය. තෙන්ගේ කටහඬ තුළ සරළ බවක් පැවතුණි. ඛේදජනක සරත් උත්සව සමයේ මැද, රාත්‍රියෙන් පසු තෙන් පිස්සෙකු මෙන් ව්‍යාකූලත්වයට ඇද වැටී ඇත.

අතුරුදහන් වීමේ වේදනාව සහ තම දරුවා මරා දැමූ මවකගේ වරදකාරී හැඟීමෙන් තෙන් පිස්සු වැටී සිටියාය. දුර බැහැර රැකියාවක නිරත වූ තෙන්ගේ සැමියා තම තරුණ බිරිඳගේ බිඳුණු හදවත සමග හොල්මන් දේශයෙන් බැහැරව ගෝ ඩවු තුඕං හි ඔහුගේ උපන් ගමට ආපසු ගියේය. ඒ වරදකාරී හැඟීමෙන් තවමත් ඈ තුළ හොල්මන් කරන බවක් පෙනෙන්නට තිබූ මෙම කාන්තාව සනසාලීමට කුමක් කිව යුතු දැයි නොදැන සෝ හන්ග් සුසුමක් හෙළුවේය. දශක ගණනාවක් තිස්සේ තම පුතාගේ මරණය තමා සහ බිරිඳ නොසන්සුන් කළ බව තෙන්ට පැවසීමට සෝ හන්ග් පසුබට විය.

වරක් කිසියම් හේතුවක් නිසා පුරාණ විහාරස්ථානයකට ගිය අවස්ථාවේ මහලු‍ භික්ෂුවගේ මෘදු හා දයානුකම්පිත දෑස දෙස බලා තෙන් තම දුක්බර කතාව පැවසුවාය. භික්ෂුව හේතුව සහ ඵලය පිළිබඳ බෞද්ධ සංකල්පය ගැන සෙමින් තෙන්ට පැහැදිලි කළේය.

එදින තෙන් කළ ක්‍රියාවන් සහ ඔහුගේ දරුවා මරණයට පත්වීම, පෙර ජීවිතයකින් ලැබුණු කර්ම විපාකයක්ම විය. මවගේ සහ දරුවාගේ ඉරණම එතැනින් අවසන් විය. දරුවා තමා ගෙවිය යුතු ණය ගෙවා පුනරුත්පත්තියේ චක්‍රයට පිවිසි ඇත. භික්ෂුව පැවසූ දෙයින් වසර ගණනාවක් තිස්සේ ඈ මත තිබූ බර නිදහස් කර ගැනීමට තෙන්ට හැකි වූවාය.

මේ කන්නයේ ෂා මට් දේශසීමා දොරටුවෙන් ඇතුළුවී පිටතට යන භාණ්ඩ තොග රැගත් ට්‍රක් රථවලින් පිරී ඉතිරී ගොස් තිබුණි. තාරුණ්‍යයේ හුස්මෙන් දේශසීමා ප්‍රදේශයේ ජීව ශක්තිය ඉහළ යමින් පැවතුණි. ඒ භයානක රාත්‍රියේ කුරිරු ලේ බිංදු සහ කඳුළු පසට දියවී සුදු ඕජාවක් බවට පත්වී දේශයට සමෘද්ධිය ගෙන එන බව දැකගත හැකිවිය. එළඹුණ සවස්යාමයේ මංතීරුව දිගේ තෙන්ගේ සෙවනැල්ල මැකී අතුරුදහන් වන ආකාරය දෙස තේ වතුර තොල ගාමින් සෝ හන්ග් බලා සිටියේය.



https://www.divaina.lk/features/22348?fbclid=IwQ0xDSwMJMrhjbGNrAwkyQ2V4dG4DYWVtAjExAAEenP8NVAbgPdUg7KJCFIlU5wXb4JrcSrAbXaQzuB-mMKPTpG2VdY-3_jpVFd8_aem_8_VD6-WP3-Gf05iSgxk6Qw

Nissanka Rajapaksa

unread,
Aug 15, 2025, 1:43:25 AM8/15/25
to INDRAKA group
16
පුරාජේරුව

- චන්දන එස්. කුමාර 


Nissanka Rajapaksa

unread,
Aug 15, 2025, 8:36:12 PM8/15/25
to INDRAKA group
17
දැසිදැස්සෝ

- ආනන්ද සාගර




Nissanka Rajapaksa

unread,
Aug 16, 2025, 9:20:36 PM8/16/25
to INDRAKA group

Nissanka Rajapaksa

unread,
Aug 17, 2025, 9:50:54 PM8/17/25
to INDRAKA group
19

ඕඩිකොලෝන් සුවඳ


ජගත් ප්‍රසන්න කුරුගම

ඒ මොහොතේදී මම වැහි වලාකුළක් යටින් ගමන් කරමින් සිටියෙමි. තව නොබෝ වේලාවකින් වලාකුළ සිය බර බිම තබනු නිසැකය. සිහිනයකදී දිවයෑම කළ නොහැකි වුවත් මම හැකි තරම් පය ඉක්මන් කළෙමි. මෙය සිහිනයක්ද නැත හොත් සැබෑවක්ද යන්න තේරුම් 

ගැනීමට මට වුවමනා නැත. පරිසරය සැකසී ඇති චමත්කාරජනක පසුබිම මා සිහි මුළා කර ඇති සෙයකි. අවටින් හමා එන සුළඟ දෙපස රබර් වතුයායෙහි දහස් ගණන් පත්‍ර සොලවා දසත විසුරුවාහරිමින් රැලි නඟන්නට විය.

ගස් අතු අතර සැඟව සිටි කුරුල්ලන් ගසින් ගසට පියාඹා ගියේ ළඟ එන වැස්සෙන් ආරක්ෂා වීමට වඩාත් හොඳ නවාතැනක් තෝරාගන්නට විය යුතුය. සංචාරකයකු ලෙස මා හට මෙවැනි අත්දැකීම් අරුමයක් නොවූවත්, සුළඟ සමඟ හමා එන සියුම් සුවඳ කුමක්දැයි වටහාගැනුමට මා හට නොහැකි විය. ‘ඕඩිකොලොන්’ සුවඳට සමාන වූ එය හමා එන්නේ කොතැනින්දැයි මා හට හරි අවබෝධයක් නැත.

මෙවැනි හුදෙකලා අඳුරු මොහොතක මා හට නිතැතින්ම සිහි වන කෙනෙක් සිටී. ඒ ඇයයි. මම ඔබට ඇයගේ නම නොකියමි. එහෙත් මෙසේ ඇය හඳුන්වාදිය හැකිය. ඇය මට හමු වූ පළමු පෙම්වතියයි. ඉරිඟු යායක කරල් අතර හොඳම කරල සොයා යන්නකුට කිසිදා හොඳම කරල සොයාගැනීමට නොහැකි වන්නා සේ මටද ඇය මඟහැරුණි. වඩාත් හොඳම ඉරිඟු කරල සෙවීමෙහි ප්‍රයත්නයේදී මුලින්ම ස්පර්ශ වූ කරල මා නොතකා හැරියේ මන්දැයි අද ද මම කල්පනා කරමි. ඇය මාගෙන් වෙන් වූවාට වඩා, මා ඇය අත්හළ බැව් කිව හොත් එය වඩාත් සාධාරණය. එය අතීතයේ මා ගත් වඩාත්ම වැරදි සහ අසාධාරණම තීරණයයි. කාලය විසින් ඒ වරදට මා හට ඕනෑවටත් වඩා දඬුවම් දී පසුව නිදොස් කොට නිදහස් කරන ලදි.

අවට වැහි අඳුර දැඩි වූයෙන් තව නොබෝ වේලාවකින් වැසි දිය මා තෙතබරිත කිරීම නවතාගත නොහැකිය. රබර් යාය හරහා නගරය වෙත යෑමට තවත් අඩ හෝරාවක් පමණ ගත වේ. රටතොට ඇවිදිමින් ගවේෂණාත්මක ලිපි ලිවීම දැන් මාගේ වෘත්තිය බවට පත් වී අවසානය. මෙය මා ප්‍රිය කළ රැකියාවක් නොවුණත්, එමඟින් බොහෝ ප්‍රදේශවල සංචාරය කිරීමට ඉඩ සැලසෙන බැවින් යටිසිතින් ඊට ආසා කළෙමි.

රබර් වත්ත ඉහළින් කුඩා නිවෙසක් පෙනේ. සමහර විට මෙය රබර් වත්තේ මුරකරුගේ නිවෙස වීමට ඉඩ තිබේ. ඒ භූමි දර්ශනය ඉතා විචිත්‍රවත් ලෙස පෙනෙන්නේ හරියට දිය සායම් සිතුවමක් පරිද්දෙනි. අවට වූ පාළු අඳුරු ස්වභාවයත් සමඟ රබර් ගස් පසුබිමේ ඇති මේ නිවෙස ඉස්තෝප්පුවකින් සමන්විත කාමර දෙකක කුඩා එකකි. එහි පිටුපස කොටසින් සිහින් දුමක් ඉහළ නැඟෙමින් තිබේ. නිසැකවම කුස්සියෙහි ඇති ළිපේ කිසිවක් රත් වනු ඇතැයි මට සිතේ. මේ සීතලෙහි උණුසුම් තේ උගුරක් බීවොත් කදිමය. එහෙත් එයට මෙය වේලාව නොවේ. එවිටම වැසි බිඳු ඇදහැලෙන්නට විය. නිවෙසේ මිදුලට පැමිණි මම කටහඬ අවදි කළෙමි:

“කවුද ගෙදර…? ගෙදර කවුරුත් ඉන්නවදෝ…?”

මෙසේ අමතන විට අවුරුදු පහළොවක පමණ ගැහැනු ළමයෙක් නිවෙසේ ඉදිරි දොරෙන් මතු විය. සුදු පසුබිමේ නිල් පැහැ කුඩා මල් වැටුණු දිගු ගවුමක් ඇඳ සිටි ඇය විස්මය රැඳි දෑසින් යුතුව මා දෙස බැලුවාය.

“මම මේ රබර් වත්ත මැදින් ටවුන් එකට යන කෙනෙක්. මඟදි වහින්න ගත්ත නිසයි මෙහෙට පොඩ්ඩක් ආවෙ…” මම, මා ගැන ඇයට හඳුන්වා දුන්නෙමි.

“ආ… එහෙමද? එන්න මහත්තය ඇතුළට. ඔතන තෙමෙනව නෙ…”

“කවුද දුව ගෙදර ඉන්නෙ, ඔයා විතරද…?”

“මමයි තාත්තයි විතරයි ඉන්නෙ. තාත්ත නම් මෝලට ගියා රබර් රොටී අරගෙන. දැං එනවත් ඇති.”

දැරිය පිළිතුරු දුන්නාය. එහෙත් ගැහැනු ළමයකු පමණක් සිටින නිවෙසකට ගොඩ වීම හොඳ දෙයක් නොවන වග මගේ මනස කියයි. ඇත්තටම අතීතයේ එක් දිනෙක එය මා හට පවසන ලද්දේද මා මුලින් සඳහන් කළ, මා අහිමි කරගත් ඇය විසිනි. පාසල් නිවාඩු සමයේ මෙවැනි වැසිබර එක් දහවලක මා ඇයගේ නිවෙස අසලින් ගමන් කළ මොහොතක් මට සිහිපත් වේ. එවිට ගෙමිදුලෙහි උන් ඈ වටපිට බලා මා අසලට දිව ආවාය.

“කොහෙද යන්නෙ?”

“වෙන කොහෙද…? ඔයා ඇති කියල හිතලයි පාර දිගේ එහෙට මෙහෙට ගියේ…” මම පැවසීමි.

“පාර දිගේ ගියාට කමක් නෑ. හැබැයි වැස්ස කියල ගෙදරට එනව නම් නෙමෙයි!”

ඇය වැටේ වූ ගිනිසීරියා ගසකට ඇඟිල්ලෙන් අනිමින් පැවසුවාය.

“ඇයි ඒ..? ගෙදර අය ඉන්නවද..?”

“නෑ… කවුරුත්ම නෑ මෙවෙලේ…”

“ඉතිං එහෙනම් හොඳයි නෙ! ඇයි ගෙට එන්න එපා කියන්නෙ?”

“ඒක නිසාම තමයි එන්න එපා කිවුවෙ. දන්නැද්ද ගෑනු ළමයෙක් තනියම ඉන්න වෙලාවකට ගෙදරකට පිරිමියෙක් එන්න හොඳ නැති වග?”

නැවතත් අර කොහේදෝ සිට හමා එන ‘ඕඩිකොලොන්’ සුවඳ දැනෙන්නට විය. ඈත අහසෙන් මෝදු වන වැහි වලාකුළු රබර් ගස් යායට ඉහළින් සෙමෙන් බටහිර දිශාවට පැතිරී යයි. වැසි වතුර වැටීමෙන් මිදුලේ කුඩා දිය වළවල් සෑදෙමින් තිබේ. මම සෙමෙන් ඒ වැසි දිය පිරි කුඩා දිය වළකට එබී බැලුවෙමි. ඒ තුළින් මාගේ ප්‍රතිබිම්බයත්, ඉහළ අහසත් පැහැදිලිව පෙනේ. ඒ දිය වළට ඉහළින් එක් අහසකුත්, දිය වළ තුළින් තවත් අහසකුත්, ඒ අතර මාගේ මුහුණේ අඳුරු ඡායාවත් පරිසරය විසින් නිර්මාණය කොට ඇත.

“එන්න මහත්තය ගේ ඇතුළට…”

දැරිවිය මා හට නිවෙස තුළට එන්නැයි නැවත ඇරියුම් කළාය. වැස්ස තරමක් දැඩි වූ බවක්ද දැනේ. ඉස්තෝප්පුවට වැටෙන හිරිකඩ තරමක සීතලක් මා සිරුරට ඇති කිරීමට සමත් වූ නිසා මම නිවෙස තුළට යෑමට සූදානම් වීමි. නැවතත් අර ‘ඕඩිකොලොන්’ සුවඳ අවටින් හමා එයි. මම සෙමෙන් නිවෙස තුළට පා ඔසවමි. ගෙයි මැද සාලයෙහි සවි කර ඇති සිතුවමක් මා හට දර්ශනය වූයේ මෙවිටය. වැසි අඳුර නිසා නිවෙස තුළ තරමක් අඳුරු වූවත්, ජනේලයෙන් ඇතුළට පෙරී එන ආලෝකයෙන් ඇතුළත වූ පාළු බව තරමක් මඟහැරී තිබිණ. සිතුවමට ළං වූ මට එහි කිසියම් සමීප බවක් දැනිණි. කඳු යායක් පසුබිමේ ඇති ඇහැළ මල් ගසක සිතුවමක් වූ එහි කහපාට මල් පිපී තිබිණි. තවත් ළං වී බලද්දී එහි කෙළවරක තිබූ අත්සනක් දැක මට සිහි එළවාගත නොහැකි විය. පුදුමයකි! ඒ මාගේ අත්සනයි.

“කොහෙන්ද මේ චිත්‍රය…?”

මා වාවාගත නොහැකි විස්මයකින් දැරියගෙන් විමසුවෙමි.

“ඕක ඔතන හයි කළේ අපේ අම්ම. කවුරු ඇඳපු එකක්ද කියල නම් මම හරියට දන්නෙ නෑ. හැබැයි අම්ම උන්න කාලෙ ඕක පණ වගේ පරිස්සම් කළා.”

“අම්ම උන්න කාලේ… ඒ කියන්නෙ දැං…”

මා හට වචන සිර විය. අවටින් හමා එන ඕඩිකොලොන් සුවඳත් සමඟ රබර් ගස් යාය අතරින් භ්‍රමණය වෙමින් මගේ සිත ක්ෂණයකින් අතීතය වෙත ඇදී යන්නට විය. දශක හතරක් පසුපසට ඇදී ගිය මම සිත කහපාට මල් පිපුණ ඇහැළ ගසක් සමීපයෙහි වූ පාසලක කුඩා පන්ති කාමරයක් අසල සෙමෙන් නතර වෙමි. පන්ති කාමරය තුළ සිසුවෙක් කිසියම් සිතුවමක් අඳිමින් සිටී. මම ඔහුගේ මුහුණ හඳුනාගනිමි. ඒ අන් කවරෙකුවත් නොව මමමය; මීට දශක ගණනකට පෙර පාසල් ගිය මමමය. මම දෑස් නොසොල්වා ඒ දෙස බලා සිටිමි. ටික වේලාවකින් කොටු දැල් ගැසූ පන්ති කාමරය තුළට සිසුවියක් ඇතුළු වේ. කරල දෙකට ගෙතූ කොණ්ඩය යළි දෙකට නමා රතු පැහැ රිබන් පටිවලින් ගැටගසා සිටි ඇයගේ මුහුණේ කුරුලෑ දෙක තුනකි. මගේ හදවත වේගයෙන් ගැහේ. ඒ අන් කවරකුවත් නොව, මාගේ වරදින්ම මා හට අහිමි වූ ඇයයි. දැල් කවුළුවකට මුවා වූ මම ඔවුන් දෙස බලා සිටිමි. මෙතෙක් මා හට හඳුනාගැනීමට නොහැකි වූ ඕඩිකොලොන් සුවඳ හමා ආවේ ඈ වෙතිනි. දැන් මට ඒ සුවඳ මතකය. එකල ඈ වෙතින් නිතර හමා ආවේ ඒ සුවඳයි. එසේම ඈ පොත් කවර තුළ සඟවා එකල මා හට දුන් සෑම හසුනකම ඒ සුවඳ තැවරී තිබිණි. සිතුවම ඇඳි මම ඒ මත අත්සන යොදා, ඇයට පෙන්වමින් සිටිමි. ඔවුන් කතාබහ කරන දෑ මට නෑසුණත්, ඒ දෙබස් මාගේ මනසට වැටෙහෙමින් තිබේ. එය මහා පුදුමයකි!

“කොහොමද මේක…?”

“ලස්සනයි!”

“නිකම්ම ලස්සනයි විතරද..?”

“නෑ… ගොඩක් ලස්සනයි. මේක මට දෙන්න.”

හිස ඇල කොට මා හා සිනාසුණ ඈ මා ඇඳි සිතුවම දෝතින් ගෙන බිත්තියට තබා හැඩ බලයි. ඉන් පසු අපි දෙදෙන ඒ සිතුවමත් රැගෙන පන්ති කාමරයෙන් පිට වී ඇහැළ ගස් සෙවණ වෙත පැමිණෙමින් සිටිමු.

නැවතත් මම සුළියකට හසු වූ පරඬැලක් පරිදි ඇහැළ ගස මුදුනට ගසාගෙන යන්නට වීමි. මා ඇහැළ ගස ඉහළට ඇදී යද්දී කහ පැහැ ඇහැළ මල් පෙති අතරින් සුදු පැහැ නිල ඇඳුම් ඇඳි අප දෙදෙනාගේ රුව සිතුවමක් ලෙස දර්ශනය වන්නට වේ.

මොහොතකින් මම නැවත රබර් ගස් යාය අතරින් ඇදීවිත්, නාඳුනන නිවහනෙහි වූ සිතුවම ඉදිරිපිට නතර වී සිටිමි. වැස්ස නැවතී තිබේ. එහෙත් පෙර හැමූ ඔඩිකොලොන් සුවඳ අතුරුදන් වී ඇත.


https://www.silumina.lk/2025/08/16/news-features/46659/%e0%b6%95%e0%b6%a9%e0%b7%92%e0%b6%9a%e0%b7%9c%e0%b6%bd%e0%b7%9d%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%94%e0%b7%80%e0%b6%b3/?fbclid=IwY2xjawMOFGhleHRuA2FlbQIxMQABHitFcyE9GmpuMywm01z89239mBZXTzj4l5H5Z2pkMRvX_8GnONDhR5x9rE0l_aem_r9wkSsQeNhs_VJlokXc_cw

Nissanka Rajapaksa

unread,
Aug 21, 2025, 7:11:08 PM8/21/25
to INDRAKA group
20

එක්තරා පියකුගේ හෘදය සාක්ෂිය

රුසියානු ලේඛක ඇන්ටන් චෙකෝෆ් 

 අනුවාදය – ආචාර්ය පාලිත ගනේවත්ත

සිරිත් පරිදි තම සන්ධ්‍යා පා ගමන හමාර කළ ආණ්ඩුවේ උසස් නිලධරයකු වූ මිගූයෙෆ් ටෙලිෆෝන් කණුව ළඟ නතර වී දිග සුසුමක් හෙලුවේ ය. මීට සතියකට පෙර සැන්දෑවේ ඔහු සුපුරුදු පරිදි ඇවිදින්ට ගොස් ගෙදර එනවිට මෙතැනදීම ඔහුව ලුහුබැඳ ආ කලින් ඔහුගේ ගෘහ සේවිකාව වූ අග්නියා දැඩි කෝපයෙන් මෙසේ තෙපළා ය.

'හිටපං ඔහොම පොඩ්ඩක්, මං බොට හොඳ වැඩක් කරන්නම්, අහිංසක ගෑනු අනාථ කරනවට. පොඩි දරුව උඹේ ගෙදරටම ගෙනැත් දාන්නම්. මම යනව උසාවියට මේ අවනඩුව කියන්න. උඹේ ගෑනිටත් ඔක්කොම සුල මුල කියන්නම්'.

තමාගේ නමට රූබල් පන්දහසක මුදලක් බැංකුවේ තැන්පත් කරන ලෙසද ඇය බල කර සිටියා ය. මේ සිදුවීම් සිහි කළ මිගූයෙෆ් තමාට මෙතරම් කරදර හා වේදනා ගෙනදීමට හේතුවූ මොහොතක ආස්වාදයට පෙළඹුණු එම අවස්ථාව ගැන සිතා චිත්ත සන්තාපයෙන් යුතුව තමාටම දොස් පවරා ගත්තේ ය.

තමාගේ ගම්බද නිවස තෙක් ගමන් කළ මිගූයෙෆ් මඳක් විඩා නිවන්නට සිතා පඩිය උඩ හිඳ ගත්තේ ය. වේලාව රාත්‍රී දහය විය. වලාකුළු අතරින් අඩ සඳ දිස්විය. මහ පාරේවත් ඔහුගේ නිවස අසලවත් කිසිවකු පෙනෙන්නට සිටියේ නැත. ගම්බද පෙදෙසට විවේක ගන්ට පැමිණි මහලු අය දැනටම නින්දට වැටී ඇත. තරුණ තරුණියන් වන ලැහැබේ ඇවිදින්ට ගොස් ය. දුම් වැටියක් ඉරීමට සිතා සාක්කු දෙකටම අත් දමා ගිනි පෙට්ටියක් සොයන්ට වූ මිගූයෙෆ්ගේ වැලමිට කිසියම් මෙළෙක් දෙයක හැපිණ. තම දකුණු වැලමිට පිටුපස බැලූ ඔහුගේ මුහුණ අසල ඉන්නා නයකු දුටු විටක මෙන් විකෘති ස්වරූපයක් ගත්තේ ය. පඩිය උඩ දොර අසල දිග අතට එතූ බ්ලැන්කෙට්ටුවක් වැනි යමක් තිබුණේ ය. යන්තම් විවරව තිබුණු එහි එක් කෙළවරකට අත දැමූ මිගූයෙෆ්ට කිසියම් උණුසුම් තෙත් ගතියක් දනිණ. දැඩි තිගැස්මෙන් වහා නැගිට්ට ඔහු මුරකරුවන්ගෙන් පලායාමට තැත් කරන අපරාධකරුවකු මෙන් වටපිට බැලී ය.

‘එහෙනම් ඒකි දරුවව මෙතනට විසිකරලා ගියා‘ යි ඔහු දැඩි කෝපයෙන් මිට මොලවමින් කෙඳිරි ය. ‘ ඔව් මේ තියෙන්නෙ දාමරිකකම… අනේ දෙයියනේ …

දැඩි තිගැස්මෙන්ද ක්‍රෝධයෙන්ද ලජ්ජාවෙන්ද ඔහු අප්‍රාණික විය. තම බිරිඳ මේ බව දැන ගත්තොත් මොනවා කියනු ඇත්ද? ඔහුගේ කාර්යාලයේ සේවකයන් මොනවා කියනු ඇත්ද? ඔහුගේ අංශ ප්‍රධානියා ඔහුගේ උදරයට තට්ටු කර , ‘හාහ්… ඔබට සුභ පතනවා… හාහ් හා.. රැවුලත් ඉදිලා, සෙල්ලක්කාර ‘කොලු පැංචා’ යි කියනු ඇත.

ගම්බද විවේක ගන්ට පැමිණි සියල්ලන්ටම දැන් ඔහුගේ රහස හෙළිවනු ඇත. ඔහු කුලියට ගත් ගම්බද නිවාසයේ ගෘහමූලික කාන්තාව විසින් ඔවුන් පිටමං කරනු ඇත. මේ කලබගෑණිය ගැන හැම පුවත් පත්වලම පළ කරනු නිසැකය. මේ අන්දමින් මිගුයෙෆ්ගේ විනීත නාමය මුළු රුසියාව පුරාම හාස්‍යයට භාජනය වනු ඇත.

ඔහුගේ ගම්බද නිවසේ මැද ජනේලය විවෘත කර තිබිණ. මිගුයෙෆ්ගේ බිරිඳ, ඇනා ෆිලීපව්නා රාත්‍රී කෑම මේසය සුදානම් කරන සැටි ඒ තුළින් පැහැදිලිව ඇසිණ. වත්තේ වැඩ කරන එරමලායි වැටෙන් එපිට මිදුලේ දුක්මුසු හඬින් බලලයිකාව (රුසියානු ජන තුර්ය භාණ්ඩයක්) වාදනය කළේ ය. බිලිඳා ඇහැරී ඇඬුවොත් රහස හෙළිවනු ඒකාන්තයි. වහා ක්‍රියාත්මක විය යුතුයයි මිගුයෙෆ් කලබලයෙන් සිතුවේ ය.

‘ඉක්මනින්… ඉක්මනින්’ යයි ඔහු තමාටම කියා ගත්තේ ය. ‘දැන් දැන්ම කවුරුවත් දකින්ට කලින් කොහාට හරි ගෙනිහින් කාගෙ හරි පඩියක් උඩ තියල එනව’

මිගුයෙෆ් එක් අතකින් පොට්ටනිය ගෙන කාටවත් සැක ඇති නොවන සේ හෙමින් සීරුවේ පාර දිගේ පියවර මැන්නේ ය.

‘හරිම තුච්ච වැඩක්නේ උනේ’ යි තමාට උදාසීන ස්වරූපයක් දීමට තැත් කරමින් ඔහු සිතුවේ ය.; ආණ්ඩුවේ ලොකු නිලධාරියෙක් අලුත උපන් බිලිඳකු අරගෙන පාරෙ යනවා. දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ! කවුරුහරි මේක දැකල මේකෙ අග මුල දැනගත්තොත් මං ඉවරයි…. මේ පඩිය උඩ තියන්ටද? නෑ මෙතන ජනේලෙ ඇරල. බාගදා කවුරුහරි දකින්ට පුළුවන්… කොහාටද අරන් යන්නෙ?… අහා..! මෙල්කින් මුදලාලි ඉන්න ගම්බද ගෙදරට අරන් යනව. මුදලාලිල පොහොසත් මිනිස්සු හිත උණුවන… සමහර විට බොහොම ස්තුතියි කියල දරුකමට හදාගන්ට බාර ගනීවි.‘

වෙළෙඳුන් විවේක ගන්නා ගම්බද නිවාස ගම්මානයේ ඈත කෙළවර ගඟ අසබඩ පිහිටියත් බිලිඳා මෙල්කින්ගේ නිවසටම ගෙනයාමට මිගූයෙෆ් තීරණය කළේ ය.

දරුවා පොට්ටනිය ගලවගෙන වැටෙන්නෙ නැතුව හිටියොත් ඒ ඇති යි මිගූයෙෆ් සිතුවේ ය. ‘අනේ ඇත්තටම මෙහෙම වෙයි කියල කවදාවත් හිතුවද? පණ තියෙන ජිවිතයක් කිහිල්ලෙ ගහගෙන යනවා හරියට බෑග් එකක් වගේ. පණ තියෙන ජීවිතයක්, අනිත් අය වගේ හදවතක් තියෙන හැඟීම් තියෙන ජීවිතයක්! ඇත්තටම මෙල්කින් අනුකම්පාවෙන් දරුව හදාගන්ට ගත්තොත්? මෙයා ලොකු මහත් වෙලා කවුරු හරි හොඳ ප්‍රසිද්ධ කෙනෙක් වුණොත්?… සමහර විට මහාචාර්යවරයෙක්, හමුදා නායකයෙක් හරි මහා ලේඛකයෙක් වෙන්ට පුළුවන්… මේ ලෝකෙ මොනවාද වෙන්ට බැරි? දැන් මම හරියට කුණු ගොඩක් වගේ කිහිල්ලෙ ගහගෙන ගියාට තව අවුරුදු තිහකින් හතළිහකින් විතර සමහර විට මෙයා ඉස්සරහින් සීරුවෙන් හිටගෙන ඉන්ට වෙයි…

ඝනට වැදුණු ලීපා ගස්වලින් සෙවන වුණු පාලු අතුරු පාරවල් දිගේ තාප්ප අයිනෙන් යන විට තමා ඉතා දුෂ්ඨ සාපරාධී ක්‍රියාවක් කරන බව ඔහුට තේරුම් ගියේ ය.

‘ඇත්තටම මේක කොච්චර නීච වැඩක්දැ’යි ඔහු සිතුවේ ය. ‘කොච්ච්ර නීචද කිව්වොත් මීට වඩා නීච වැඩක් තවත් ඇතිවෙන්ට බැහැ. මොකදට ද අපි මේ අවාසනාවන්ත දරු පැටියව දොරකඩින් දොරකඩට අරගෙන යන්නෙ? මෙලොවට ඉපදුනා කියල දරුව වැරදිකාරයෙක්ද? දරු පැටිය අපට කළ වරද මොකක්ද? අපියි නීචයෝ… අපි සෙල්ලක්කාරකමින් විනෝද වෙනව. ඒවායෙ විපාක විඳින්නෙ මේ අසරණ දරු පැටියො. මේව ඔක්කෝම හොඳට කල්පනා කරල කරන්ට ඕන වැඩ. මම සල්ලාලකම් කෙරුව. දරුවට දැන් මුණපාන්න වෙන්නෙ කටුක ඉරණමකට… දැන් මම ගිහින් දරුව මෙල්කින්ගෙ ගෙදර තියල එනව. එයා දරු පැටියව අනාථ නිවාසෙකට දුන්නොත්? එතන ඔක්කොම අනුන්ගෙ ඈයො, හරියට හිර ගෙදරක් වගේ කිසිම ආදරයක්, හුරතලයක්, කරුණාබර වචනයක් නැතුව. පස්සෙ දරුව ටිකක් ලොකු උනහම සපත්තු මහන තැනක අත්වැඩට භාරදේවි… හති දමනකම් වැඩ ගනීවි.. කුණුහරුප කියන්ට ඉගෙන ගනීවි… බඩගින්නෙ මැරෙන්ට වේවි… සපත්තු මහන්ට මේ වගේ ආණ්ඩුවේ ලොක්කෙකුගේ පුතා?… මට ජාතකව උපන් දරුවෙක්නෙ! උතුම් ලේ තියෙන දරුවෙක් …

ලීපා ගස් සෙවණින් අඳුරු වූ මාවතෙන් නික්ම හඳ එළියෙන් නැහැවුණු පාරට පිවිසි මිගූයෙෆ් පොට්ටනිය දිග හැර බිලිඳා දෙස බැලුවේ ය.

‘නිදි’ ඔහු සෙමින් කිවේ ය… අනේ පැංචෝ… ගිරා හොටේ වගේ තාත්තගෙම නහය… නිදාගෙන හිටියට දන්නෙ නැහැනෙ තමාගෙ තාත්ත තමා දිහා බලා ඉන්න බව… අනේ කොල්ලෝ… ජිවිතේ හැටි. මට සමාවෙයන් කොලු පැංචෝ … උඹේ ඉරණමේ හැටි තමා ….

මිගූයෙෆ් ඇසි පිය හෙළී ය. තම කම්මුල් දිගේ හිරිගඩු පිපෙන්නාක් මෙන් ඔහුට දැනිණ. ඔහු යළිත් වරක් බිලිඳා ඔතා කිහිලි ගන්නාගෙන ඉදිරියට ගමන් කළේ ය. මෙල්කින්ගේ ගම්බද නිවස දක්වා යන තෙක්ම ඔහුගේ හිස තුළ විවිධාකාර ප්‍රශ්න තෙරපෙන්නට විය. හෘදය සාක්ෂිය ඔහුට දොස් නගන්නට විය.

තමා අවංක මිනිසෙකු විය යුතු යයි ඔහු කල්පනා කළේ ය. ‘මට ඔය මොන කෙහෙම්මලකින්වත් වැඩක් නැහැ. මේ දරු පැටිය එක්ක ඇනා ෆිලීපව්නා ළඟට ගිහින් දණ ගහගෙන මෙහෙම කියන්ට ඕනෙ… ‘අනේ… මේ පව්කාරයට සමාවන්න. මට ඕන වදයක් දෙන්න මේ අහිංසක දරු පැටියට කරදරයක් නොකර… අපිට දරුවො නැහැනෙ… ඒ නිසා මේ දරුව හදාගන්ට ගමු’. එයා කරුණාවන්ත ගෑන, මගේ යෝජනාවට කැමති වුණොත්?.. එතකොට මගේ දරුව මගෙ ළඟ … අයියෝ!

ඔහු මෙල්කින්ගේ ගම්බද නිවස ඉදිරියට ගොස් තීරණයකට එළඹිය නොහැකිව නිසොල්මන්ව සිටියේ ය. තමන් සාලයේ හිඳගෙන පත්තරයක් බලමින් සිටින සැටිත් ගිරාහොටය මෙන් නැවුණු නාසයෙන් යුත් පුතා ඔහු වටේ දැවටෙමින් ඔහුගේ කබායේ පටිය අදිමින් සෙල්ලම් කරන සැටිත් ඔහුට මැවී පෙනුනේ ය. සරදමට මෙන් ඇස්පිය ගසන ඔහුගේ කන්තෝරුවේ සේවකයන්ද, තම උදරයට උපහාසාත්මකව තට්ටු කරන ඔහුගේ අංශ ප්‍රධානයාද ඔහුගේ මනසේ මැවී ගියේ ය. ඔහුගේ හෘදය සාක්ෂිය ඔහුට දොස් නගන්නට වූ අතර ඔහුගේ හදවතේ යම් තැනක කිසියම් සියුමැළි උණුසුම් සංවේගජනක හැඟීමක් ඇතිවිය.

මිගූයෙෆ් දරුවා ඉතා පරිස්සමෙන් ඉස්තෝප්පුවේ පඩිය උඩ තබා අත ගසා දැම්මේ ය. යළිත් වරක් ඔහුගේ කම්මුලේ උඩ සිට පහළට හිරිගඩු පිපිණ.

‘සමාවෙයන් කොල්ලෝ මට. මම මහා නීචයෙක්’ යි ඔහු කෙඳිරි ගෑවේ ය.

ඔහු පියවරක් පස්සට තබා හදිසියේම තීරණාත්මක විලාසයෙන් මෙසේ කිවේ ය.

‘වෙන දෙයක් වෙච්චාවෙ, මට මොනව වුණත් කමක් නෑ. මම දරු පැටියව අරගෙන යනවා. මිනිස්සු ඕන එකක් කියපුවාවෙ’

මිගූයෙෆ් බිලිඳා ගෙන ආපසු ගමන් කරන්නට විය.

‘මිනිස්සු ඕන එකක් කියපුවාවෙ’ යි ඔහු සිතුවේ ය. ‘දැන් ගිහින් දණ ගහගෙන කියන්නම් මෙහෙම්, ඇනා ෆිලීපව්නා, එයා හිත උණුවන ගෑනි.. මේව තේරුම් ගන්ට පුළුවන්’ අපි දරුව හදාවඩා ගම්මු. කොලුවෙක් වුණොත් ව්ලැඩිමීර් කියල නම දාමු. ගෑනු දරුවෙක් වුණොත් ඇනා කියලා දාමු. මොනවා උනත් අපේ අතපය පණ නැති කාලෙ ලොකු සැනසීමක් වේවි…

ඔහු සිතූ ලෙසම කළේ ය. තිගැස්මෙන් හා ලජ්ජාවෙන් මිරිකෙමින් බලාපොරොත්තුවලින් හා කිසියම් අපැහැදිලි ජයග්‍රාහී හැඟීමකින් යුතුව ඔහු තම ගම්බද නිවසට ඇතුළුවී බිරිඳ ළඟට ගොස් ඇය ඉදිරියේ දණ ගැසී ය.

‘ඇනා ෆිලීපව්නා‘ යි ඔහු බිලිඳා බිම තබමින් ඉකි ගසමින් කීවේ ය… බෙල්ල වැලලාගන්නවට වැඩිය මේ වචන ටික කියන්ටයි මම ආවෙ. මේ මගෙ දරුව… මෙයාට අග්නියා මතකද? අන්න එයාගෙ කුසේ උපන් දරුවා…‘

ලජ්ජාවෙන් හා කලබලයෙන් අන්දුන් කුන්දුන් වූ ඔහු ඇයගෙන් පිළිතුරක් බලාපොරොත්තු නොවී වීසි කළ ගල් කැටයක් මෙන් එළිමහනට දිව්වේ ය.

‘එයා මට කතා කරනකම් මම මෙතෙන්ට වෙලා එළියෙ ඉන්නව, එයා නිවී සැනසිල්ලෙ මේ ගැන හිතා බලපුවාවෙ’

වත්තේ වැඩ කරන එර්මලායි බලලයිකාවද (රුසියානු ජන සංගීත භාණ්ඩයක්) රැගෙන ඔහු පසුකර යමින් උරහිස් හැකිලවී ය. මොහොතකින් ඔහු පසුකර ගිය එර්මලායි යළිත් වරක් උරහිස් හැකිලවී ය.

‘මෙහෙමත් වැඩ වෙනවනෙ හැබෑට’ යි ඔහු සිනාසෙමින් කිවේ ය.; ඇහුනද සිමියොන් එස්තරවිච් (මිගූයේෆ්), දැන් ආව අර රෙදි අපුල්ලන ගෑනි අක්සීනා. මේ අමන ගෑනි එයැයිගෙ පොඩි දරුව පඩිය උඩ තියල මාත් එක්ක කතා කර කර හිටිය. ඒ ටිකට කවුද දරුව අරගෙන ගිහින්… හීනෙකින්වත් හිතූ දෙයක්ද?

‘මොනවා.. මොනවද උඹ මේ කියන්නෙ’ යි මිගූයෙෆ් මුළු වෙර යොදා කෑගැසී ය.

තම ස්වාමියාගේ කෝපයට හේතුව වරදවා වටහා ගත් එර්මලායි හිස කසා සුසුමක් හෙළුවේ ය.

‘ සමාවන්න සිමියොන් එස්තරවිච්. මිනිස්සු නිවාඩු ගන්න කාලෙනෙ… ගෑනු නැතිව ඉතින්…

කෝපයෙන් හා පුදුමයෙන් විදැහුණු තම ස්වාමියාගේ දෙඇස දෙස බැලූ එර්මලායි වරදක් කළ එකකු සේ මෙසේ කිවේ ය.

‘ ඒකි ඇත්තටම පව්. ඒ උනාට මක් කරන්නද? පිට ගෑනු මෙතෙන්ට ගේන්ට එපා කියල මහත්තය කිව්ව එක ඇත්ත… ඒත් තමුන්ගෙ අය කොහේ ගේනවද? කලින් අග්නියා ඉන්දෙද්දි පිට අයට එන්ට දුන්නෙ නෑ. මොකද එයැයි ඉතින් අපේමනෙ. දැන් මහත්තයටම පේනවනෙ… පිට අය නැතුව බෑ….. මොකද කිව්වොත් …

‘දුවපන් මගෙ දෑහැට නොපෙනි පෙරේතයා’ යි ඔහු වෙත කඩා පැන්න මිගූයෙෆ් අඩි පොළොවේ හප්පමින් තම ගම්බද නිවස තුළට දිව්වේ ය.

ඇනා ෆිලීපව්නා පුදුමයෙන් හා ක්‍රෝධයෙන් කලින් සිටි තැනම හිඳගෙන බිලිඳා දෙස යොමාගෙන සිටි කඳුළු පිරි දෑස ඉවතට නොගත්තා ය.

‘මේ.. මේ…’යි මිගුයෙෆ් සුදුමැළි වෙමින් සිනහවකින් කට ඇද කරගෙන කෙඳිරි ගෑවේ ය. ‘මම විහිළුවක් කළේ දරුවා මගේ නෙවි, අර රෙදි අපුල්ලන අක්සීනාගේ… මම විහිළුවක් කළේ… දරුව එර්මලායිට ගිහින් දෙන්න….‘

Nissanka Rajapaksa

unread,
Aug 22, 2025, 7:48:58 PM8/22/25
to INDRAKA group
21
මගේ ආලය

- හේමාල් ජයවික්‍රම

සුපුරුදු පරිදි රෑ කෑමක් ලෑස්ති කරල තිබුණ මා සමග එකට විශ්ව විද්යාෑලයේ ඉගෙන ගත් මිතුරෙක්. ඉතිත් අපි කා බී හමාර වෙලා ගැහැණු උදවිය වෙනම ද, පිරිමි උදවිය වෙනම ද කථා බහ කරමින් සිටියෙමු.

“හරිම අහිංසකයා, මිනිහට වුණේ වැඩිය තැලිල පොඩි වෙලා හිටියෙ නැති කම අණ්ඩර කනවා ලේසියෙන්ම. මොකක් දෝ අණඩරයක් කාලා, එක්සෑම් ඇණ ගෙන අන්තිමට බීලා පිස්සෙක් වාගෙ හිටියා ලූ පස්සෙ ගම් පළාතේ. දවසක් කෝච්චියට නාවලපිටිය පැත්තෙදි අහුවුණා. කියන්නෙ නම් මිනිහ පැන්න කියලා. පව් හරිම අහිංසකයා. හොඳකම ඕනෑවට වැඩියි.”

එය ඇසුණ විගස මගෙ ඉහමොළ රත්වුණා. මම හනික ඔවුන්ගෙන් සමු ගෙන කාරයට ඇවිත් එය පණ ගැන්නුවෙමි. බිරිඳට ද එය ඇසෙන්න ඇති. මම ඇගේ ඉරියව් දැක්කෙමි. ඇය එය සඟවා පුතා ද කැටුව මා පසු පස විගසින් විත් කාරයට ගොඩවූවාය. කිසිවකුටත් නොකියාම අපි පිටත් වුණෙමු. කාරය වේගයෙන් ඇදෙද්දී මගේ සිත අතීතයට ගමන් කළා.

***

මට පුදුමත් හිතෙනවා, සමහරෙක් මගෙ යාළුවන්ට තිබූ බිය සැක නැති ගතිය ගැන එයාලට පහසුවෙන් කෙල්ලක් ගාවට ගිහින් අහන්න පුළුවන් කම තිබුණා එයා මට ආදරේ ද කියලා. ඉතින් කෙල්ල කැමැති වුණත් නැතත්, එයාලට ඒ අවස්ථාවට මුහුණ දීලා, පරෙම තිඵලය කුමක් වුවත් සාමාන්ය විදිහට ජීවත් වෙන්නට හැකියාව තිබුණා.

නමුත් මට නම් එහෙම දේවල් කරන්න තියා හිතා ගන්න වත් බැරිව සිටියෙ. කොහොම ද එකට අවතීර්ණ වෙන්නෙ කියලා. “කන්න වුනොත් එහෙම?” ඒ කීවෙ අපේ භාවිතයෙන් කෙල්ල කිසියම් සම්බන්ධයකට “කැමැති නැහැ!” කියනවට.

කෙල්ලන් සමග ආශ්‍රය කිරීම මෙන් ම වල්පල් කතා කිරීම නොහොත් “සැල ගැහීම” වැනි දේවල් වලට නම් මම හරිම දක්ෂ“යෙක්. ඒවට නම් කෙල්ලො සාමාන්යනයෙන් මට කැමති බව මට දැණුනා. හැබැයි මම දැනන් සිටියෙ නැහැ ඒ ඇයි කියලා. එයාලා මා කී දේ අසා සිටින්න, මා ඇසුරු කරන්න, මා සමග එකට යන්න එන්න කැමැති වුණා.

“අනේ අහිංසක කොල්ලා, තැලිලා පොඩිවෙලා නැහැ, ඉතින් මොකට ද බය වෙන්නෙ”, එහෙම හිතෙන්න ඇති එයාලාට. ඒත් මට එයාලා කා සමඟ වත් ආදරයට සම්බන්ධ යමක් නම් කතා කිරීමට කොහෙත්ම හැකියාවක් තිබුණෙ නැහැ.

මගේ යහළුවන් අතර සිටියා ලස්සන කෙල්ලක්. ඇය සිහින් උස පැහැපත් කෙල්ලක්. වටකුරු මුහුණ සහ දිගු නෙත් හිමි වූ ඇය හරියට මං දැකපු හින්දි චිත්‍රපටියක නිළියක් වාගේ. හේමා මාලනී!

මට නම් එයා ගැන හරි ආදරයක් දැනුණා. නමුත් මට ඇයට මගේ අදහස් නම් මේ කල්පයට කියා ගන්න බැරි වුණා.

ඒත් ඉතින් මට බිය වෙන්න නම් කාරණයක් වූයේ නැහැ. මගේත් හැඩහුරු කම, මුහුණෙ පෙනුම, කඩවසම් බව අනර්ඝ නොවුණාට ලස්සන කෙල්ලකගේ හිත ගන්න බැරි තරම් නරක බවක් තිබුණේ නැහැ. මා ඉගෙන ගන්නා පාඨමාලාවත් මට ඉතා ඉහළ අනාගතයකට අත වැනූ නිසා, අනෙක් බොහෝ දෙනෙකුට වැඩිය වාසියක්ද මට තිබුණා.

දිනක් මම මගේ හිතේ අදහස මගේ ඉතාම ළඟ මිතුරා, ප්‍රගීත් ට කීවෙමි. ඔහු සිටියේත් අප උන් මහලේ ම යි. නමුත් මම මගේ කාමරේ මිතුරාට, එනම් රූමාට නම් මේ බව කිසි දිනෙක නොකීවෙමි. සුරේෂ් මා එතරම් ප්රිමය කළ කෙනෙක් නොවේ. මා හිතුවේ ඔහු කුහකයෙකු කියලා යි. නමුත් ප්‍රගීත් නම් එහෙම නැහැ. ඔහු මගේ කුළෑටි කම හොඳින් තේරුම් ගත් හොඳ මිතුරෙක් වුණා. මගේ හැම දෙයක් ම එයාට කියන්න පුළුවන් කමක් මට තිබුණා.

මා විනීතාට ආදරේ කීවාම ඔහු මට ඒ ගැන හුඟක් අවවාද අනුශාසනා කළා. “කොහොම ද ආදරය ප්‍රකාශ කරන්නේ” කියලා කියා දුන්නා. ඇය තනිවම හමුවුණ වේලාවක කෙලින් ම කටින් ම අහන්න කියලා කීවා. මට ඒකට නම් කොහෙත් ම එකඟ විය නොහැකි වුණා. එනිසා ඔහු මට කීවා, පුළුවන් නම් විනීතාට පුංචි පහේ තෑග්ගක් දෙන්න කියා. මා ඒකට එකඟ වුණා.

ඒ අනුව දවසක් මම විනීතා සහ ඇගේ මිතුරියන් හමු වුණෙමි. මා රැගෙන විත් සිටියේ විනීතාට දීම සඳහා කඩන කුඩයක්. බොත්තම එබූ සැනින් එය ස්වයංකීරයව දිග හැරෙන විදිහේ කුඩයක්. ඒ කාලෙ එවැනි කුඩ වැඩි භාවිතයක් තිබුණේ නැහැ.

මං ඒක එයාට දීලා කීවා ඒක මගෙන් පොඩි තෑග්ගක් කියලා. මා කීවා “දේශනවලට හෝ ශාලාවේ සිට පීඨයට යන-එන විට, අව්වෙන් සහ වැස්සෙන් පරඩි වේසම් වීමට ඒක භාවිතා කිරීමට” ය කියා.

ඇය එය ඉතා ආශාවෙන් රැගෙන මට මුව නොසෑහෙන සේ ස්තුති වන්ත වුණා. එදින මගේ හදවතට දැනුන සුවය නිම් හිම් නැති වුණා. ඒක වචනයෙන් පරවි කාශ කරන්නට බැහැ. හරියටම ‘වර්ෂාවක් සමඟ එන සිසිලක දි ඇඟ කිළිපොලා යනව’ වාගේ හදවත තුළ ඇති වුණ දැනීමක්. නමුත් සිතට හරිම උණුසුම් භාවයක් තමා දැනුණෙ.

ඒ සිද්ධියෙන් පසු ඈ කෙරෙහි මගේ ආදරය තව තවත් වැඩි වුණා. ඇය සහ ඇගේ මිතුරියන් හමු වීම මගේ දින චර්යාව බවට පත් වුණා. එහෙත් ඒ කිසිදු අවස්ථාවක, මට ඇයට මගේ ආදරය කීමට නම් නො හැකි වුණා. පරත් ගීත් දිනක් මට කීවා, පුළුවන් නම් ලියුමක් ලියා දෙන්න විනීතාට දෙන්න කියලා. මා ඉතාමත් අකැමැත්තෙන් ලියුමක් ලියලා ඔහුට දුන්නෙ, කිසි කෙනෙකුට එය නො කියන ලෙසත්, ඇයගේ අතට ම එය දීමටත් කියා ආයාචනය කරමිනුයි. ඔහු ඒ වැඩේ බාර ගත්තා.

ඉන් පසු මං ඇය හමු වීම මඟ හැරියා. මට පුදුම විදිහේ ලැජ්ජාවක් හිතට දැනුණා. ඇය කුමක් කියාවි ද?

සති කිහිපයක් ගත වුණා. නමුත් මට පිළිතුරක් නම් ලැබුණේ නැහැ. ඉඳලා හිටලා විනීතා මට මුණ ගැසුණත් ඇයට හරියට මුහුණ දීමට මට නො හැකි වුණා. නමුත් එ වැනි අවස්ථාවල දී ඇය නම් වැඩි වෙනසක් පෙන්වූයේ නැහැ. “වෙන දාට වඩා ඇය මා සමග කුළු පග දෝ?” දැයි කියා මට හිතුණා.

තවත් සති දෙකක් පමණ ඉක්ම ගොස් දිනක් මට පීඨයට තැපෑලෙන් ලියුමක් ලැබුණා. මා දැන සිටියේ නැහැ, එය කාගෙන් ද කියලා. කවදා වත් නො දුටු අත් අකුරු දකිත්ම මට සැකයක් පහළ වුනා. සමහර විට විනීතාගෙන්?

මං එය රැගෙන ඉක්මනට කඩා බැලූවා. ඒක දිග ලියුමක්. අමතා තිබුණේ සදාදර පරනා සන්න කියලා! ඒත් මොනවා ද දන්නෙ නැහැ එයා මට ලියා තියෙන්නේ?

මම ලියුම සාක්කුවේ දාගෙන හනික පියමන් කොට ගොස් කාමරයට වැදී අගුළු දා ගෙන එය කියවන්නට වීමි.

“ඔයා විසින් එවන ලද ලිපිය ලදිමි. එය බලා මා වින්ද සතුට මෙතෙකැයි කියන්න බැහැ. ලිපියක් පමා වූවාට මං ඔයගෙන් සමාව අයැද සිටිනවා. ඔයා මට ආදරය කරන බව දැන ගත් වේලේ මට ඇති වූ සංතෝෂය කියා ගන්න බැහැ. මං ඒක තනිව විඳ ගත්තා. ඉතින් මගේ වලස් පැටියෝ, මමත් ඔයාට හරිම ආදරෙයි. (මොනවා එහෙම ඇයි එයා මාව අමතන්නෙ, මගේ කොණ්ඩෙ නළලට වැටිලා නිසාද? ඒත් කාරි නැහැ, ආදරයට වෙන්න ඇති. මට මතකයි, එයා මට දීපු රුසියන් නවකථාවකත් ඒ විදිහේ ආමන්තරත් ණයක්. මං ඒ පොත රූමාටත් පෙන්නුවා දවසක්.) අපේ ආදරය නුදුරු අනාගතයේ සඵල කර ගෙන ඔයත් සමග එකට, එකම පැලක ජීවත් වෙන්න ප්‍රාර්ථනා කරමි.”

“නමුත් ඔයා දන්නවා නෙ, අපි ඉන්න තත්වය. අපි විශ්ව විද්යාුලයේ ඉගෙන ගත්තත් අපේ ඉගෙනීම් කටයුතුවලට බාධා වන ලෙස අපේ ආදරය පවත්වා ගෙන යාමට, මට හිත දෙන්නේ නැහැ. ඒ නිසා අපි වෙන දා වගේ කිසි වෙනසක් නො පෙන්වා දිගටම ආශ්ැරය කරමු. අපේ යහළුවන් කිසි කෙනෙක් දැන්ම අපේ සම්බන්ධය දැන ගන්නවාට මම කැමැති නැහැ. ඒ මොකද අපේ ගෙදරට ආරංචි වුණොත්, අපේ සම්බන්ධයට බාධක පැමිණිය හැකියි. මගේ මස්සිනාට මාව ඉක්මනට බන්දලා දේවි. එනිසා අපි සිතින් පමණක් එකිනෙකාට ආදරය කරමු. ඔයා වෙනදා වගේ මා සමග කථා කරන එක පවා අඩු කරන්න.”

මා ජීවිතයේ දී ලත් ලොකු ම සතුට එය යැයි මට හැඟුණා. මට ඇය නිතරම මතක් වුණා. ඒ ලිපිය කියවන හැම මොහොතකම ආදරයෙන් මගේ මුළු ගතත්, සිතත් කුල්මත් වුණා. හරිම පුදුමයක්. කිසිම ලෙසකට මනෝමය ලෙසින් පුබුදුවා ගත නො හැකි සර්වාංගයම, මේ ලිපි කැබැල්ලෙහි අකුරු කිහිපය නිසා පුබුදු වෙලා.

මෙහෙම කලක් ගත වෙද්දී, මට ඇය ගැන සිතන්නෙ නැතිව ඉන්න බැරි වුණා. රාතිරුසියේදී නිදා ගත්තේත්, උදයේ අවදි වුණේත් ඇය ගැන සිතලා. ඇඳේ වැතිරී සිටීමට මා ආශා වුණේ, ඇය ගැන සිතන්න. මම ලියුම් ලීවෙමි. ආදර හසුන් සමහරක් ඒවා පිටු තුන හතර දිගය. ඒත් මට කියා ගන්න බැහැ, ඇය කෙරෙහි මගේ තිබුණ ආදරය. මට ඇගෙන් ද නොවරදවා ම පිළිතුරු ලැබුණා. ඇගේ ඉල්ලීම පිට මම වෙනස් වෙන්නට පටන් ගත්තෙමි. හොඳින් ඇඳ පැළඳ ගැනීමට මා පටන් ගත්තේ, ඇගේ උවමනාවට. මට නො දැනුවත්වම ටිකෙන් ටික මගේ අධ්යාමපන වැඩ පවා අතපසු වුණා.

මගේ කාමරේ යාළුවා, සුරේෂ්ට මගේ වෙනස තේරුණා. එයා මට කොලොප්පම් කළා. මගේ ඇඳුම් පැළඳුම් වෙනස් වෙලාලූ. කෙල්ලක් වත් යාළු වෙලා ද?

මා ඔහුට ආඩම්බරකම් පෑවා. කෙල්ලක් ඉන්න බව අඟවලා. ඒත් කීවෙ නැහැ කව්ද කියලා. එයා අනුමාන කරලා විනීතාගේ නම කිව්වම, මට දැනෙන සතුට කියන්න බැරි තරම්. මම එය සඟවා ගැනීමට නිරර්ථක උත්සාහයක යෙදුනෙමි.

ටික කාලෙකින් අපේ මහලයේ සිටි හුඟ දෙනෙක් ද පසුව මගේ බැච් එකේ හැමෝම මට කෙල්ලක් ඉන්නවා කියලා දැන ගත්තා. ඒත් ඒ කවුද කියල, කිසි කෙනෙක් දැන ගෙන හිටියේ නැහැ. මා සාමාන්යලයෙන් ලැජ්ජාශීලී නිසා කවුරුවත් ඇසුවෙත් නැහැ. සමහර විට එයාලා අනුමාන කරන්න ඇති. ඒ මා සමඟ හැමදාම කලා කේන්ද්රලයේ චලන සිතුවම් බලන්න ගිය, ගැහැණු ළමෝ කණ්ඩායමේ කවුරු හරි කියලා.

ඒ විනීතා කියලා නම් විශ්වාස කරන එකකුත් නැහැ. ඒ තරමටම එයා ලස්සනයි. කොල්ලො නම් ඊර්ෂ්යා වෙන්න ඇති එහෙම හිතන්න වත්.

ඒ කෙසේ වුවද, මට හරිම හුදකලා බවක් දැණුනා. විනීතාගේ ඉල්ලීම පිට, මට ඇය හා තනිව කථා කිරීමට නොහැකි වුණා. ඉඳලා හිටල දැක්කට ඒක හිතට මදි. මට ගොඩක් දේවල් තිබුණා, එයා හා පැවසීමට. ඒවා එකින් එක කාලයත් සමඟ වැලලී ගියා. දිනෙන් දින ඇය හා දෙඞීමට අලූතින් දේවල් එකතු වුණා.

මගෙත් ඇගෙත් පළමු නම් ගැලපෙන හැටි! ප්‍රසන්න සහ විනීතා, ඉංගීරළමුසියෙන් ලිව්වොත් එකම අකුරු ගාන, ඒවාට ඉලක්කම් දැම්මොත් එකතුව! ඒකට කියන්නේ අංක විද්‍යාව, හරිම බොළඳ ලෙස මගේ මනස විකෘති වෙලා.

මෙසේ කාලය පසුවෙද්දී අපේ වසර අවසානයේ විභාග සමය එළඹුනා. හැම දෙනාම බොහොම මහන්සි වෙලා වැඩ කරනවා. කතා කරන්න තියා කන්න බොන්න වත් වේලාවක් නැහැ. කොරිඩෝරය දිගේ යන එන අතරේ යහළුවන් හමු වූවත් කතා නැතිව සිතින් ගණන් හද හදා යනවා. බවුන්ඩ්රිස ලේයර් තියරි, බර්නොයිලීස් ඊක්වේෂන්, බෙන්ඩිං මෝමන්ට්, මේටිරතා්ක්ස් සහ මැතමැටික්ස්.

“මට නම් මැත කොහෙ හරි දා ගන්න පුලූවන් මචං. උඹේ කට මැත, කට මැත දාලා මැත ඇණ ගනින්.” කාමරයකට ගියොත් “තෙල බෙදුවා ඇති යන්න, යන්න” කියලා පන්නා ගන්නවා.

නමුත් මගේ සිත නම් ව්යාදකූල වෙලා. මට පාඩම් කිරීමට සිත එකලස් වෙන්නෙ නැහැ. කුළුඳුල් ආදරය මෙ තරම් ප්තරබල බව දන්නවා නම්, මා කවදා වත් මේක පටන් ගන්නෙ නැහැ.

ආදරය කරන කොට පීඩනය අඩුයි, හොඳට ඉගෙන ගන්නත් විභාග සමත් වෙන්නත් උදව් වෙනවා, කියලා අහලා තියෙනවා. නමුත් මට වෙලා තියෙන්නෙ ඒකෙ අනෙක් පැත්ත. ආදරය නිසා මගේ පීඩනය වැඩි වෙලා.

කෝ ඉතින් කතා කරන්න තියා, දකින්නවත් විදිහක් නැහැනේ. විනීතාගේ කෝලම්. මෙහෙම ඉවසන් ඉන්න පුළුවන්ද?

ඇය දැක ගැනීමට කාලෙකින් බැරි වුණා. අවසානයේ ඉවසුම් නැතිම දිනෙක මම පාරට බැහැලා, ඔහේ ඇවිද ගෙන ගියෙමි.

“අඩෝ උඹ පිස්සු කෙලින්නෙ නැතිව කරෑෙ ම දාපං!” කොල්ලො මට හිනා වුණා. උන් හිතුවද දන්නෙ නැහැ මට පිස්සු කියලා. ඇත්තටම මට පිස්සුද? මම අක්බාර් පටු පාලම පහු කරලා ආවෙමි. මා ළඟ කඩන කුඩය අතේ. විනීතා එය මට ආපසු දුන්නා දවසක් හදිසියේ ඇති වූ වැස්සක් නිසා. මට එය පාලමෙන් පහලට වීසි කරන්න සිතුණා. මං දැන්නෙ නැහැ ඒ ඇයි කියලා.

පාලම පහු කරලා යන විට මට දක්නට ලැබුණා ලස්සනට කහ පාටට මල් හලමින් සිටි මැයි ගහ යට සිටිනා ජෝඩුවක්. කවදා ද මාත් ඔය වාගේ විනීතා සමඟ ඉන්නෙ?

මම ඔවුන් පසු කර ගෙන ගොස් ලවර්ස් ලේන් එක දෙසට හැරුණෙමි. මගේ ඇස් කොනට මට හැඟූණා ඒ විනීතා කියලා. මගේ හදවත ගැහෙන්න පටන් ගත්තා.

මා සිතූවේ “විනීතා කාව හරි කොල්ලෙකු සමඟ නිකමට කතා කරනවාදෝ?” යි කියලා. කෝකටත් මම ආපසු හැරී නැවත නෙත් අයා බැලූවෙමි. ඒ දෙදෙනා බොහොම සමීප වෙලා සිටියෙ නැතත් ආදරවන්තයින් බව නම් එක පාරටම කියන්න පුළුවන්.


“ඔව් ඒ විනීතා, මගේ විනීතා. මගේ කාමරේ යාළුවත් සමග එකම බංකුවක සමීපයෙන් වාඩිවෙලා ඉන්නව.”

මගේ හිසට යමෙකු මිටියකින් ගසන්නාක් වැනි බරක් එකවරම දැණුනා. හිස රත් වුණා. බඩ දෑවා. විනීතා මා දෙස බලා ලජ්ජා සහගත සිනහවක් පා ඉවත බලා ගත්තා. මා පියවර කිහිපයක්ම ගියා නොනවත්වාම කර කියා ගත හැකි දෙයක් නොමැතිව. මට විතරයි එයා නීති දැම්මෙ, දැන් කොහොමද මෙයා එක්ක එහෙම ඉන්න? මට බැහැ, මට බැහැ, දීනයකු ලෙස කරබා ඉන්න. මම හැරී ඔවුන් වෙත ගියෙමි.

“විනීතා ඇයි ඔයා මට මෙහෙම කළේ?” ඇය ම දෙස විශ්මයෙනුත් බියෙනුත් බලා සිටියා. මගේ මුහුණ ඒ තරමට ම බියකරු වෙලා තියෙන්න ඇති.

මගේ මිතුරා අතින් වේගවත් සංඥාවක් කරලා “යනවා ඕයි” කියල කීවා.

ඉන්පසු සිදු වූ දෙයක් මට මතක නැහැ. මගේ හිස අවුල් වෙන්න ඇති. මං මිතුරාට කඩා වැදිල ගුටි කන්නත් ඇති. මං දන්නෙ නැහැ. මං අනුමාන කරලයි, මේ කියන්නේ.

නමුත් මට කාගේ දෝ හඬක් ඇසුණා. ඒ හඬ මගේමයි. නමුත් යකෙකුගේ සේ භයංකාරයි. ඒ හඬ මාව මෙහෙයවන්න පටන් ගත්තා. ඒ අනුව මම ලවර්ස් ලේන් එක දිගේ පහලට දිව ගොස්, එතැන තිබූ පඳුරු ගොන්නක් තලාගෙන, පාලම යට මහවැලි ගං ඉවුරට ආවෙමි. එදා ගඟ දෙගොඩ තලා යන වෙලාවක්. අනුමානයක් නැහැ, පැන්නොතින් සුළු මොහොතකින් මා ගිලී මියෙනවා ඇති.

මොනව ද, වැඩිම වුණොත් විනාඩි දෙකක් ජීවිතේ ලොකුම දුක විඳින්න වෙයි. ඒක මේ හදවතට දැනෙන දුක සමඟ සංසන්දනය කරන කොට, නො සලකා හැරිය හැකියි. ඒකත් මොන දුකක් ද? මට හිත කියනවා පනින්න කියලා. කොහොම ද මෙ තැන් සිට ජීවිතයට අළුතින්ම මුහුණ දෙන්නෙ. මා මිය යනවා, මැරෙනවා, දිවි නසා ගන්නවා.

අනේ මගේ දෙමව්පියන් මා ඉංජිනේරුවෙකු වෙන කම් බලාන ඉන්නෙ, පවුල ගොඩ ගන්න. වෙන පවුලකට මෙන් ආභරණයක් වෙනවා වෙනුවට, මට මුල ඉඳලා ඔක්කොම ගොඩ ගන්නයි නියම වෙලා තියෙන්නේ. මගේ නංගිලා, මල්ලිලාටත් ලොකු ආදර්ශයක් වේවි කියා, ගමේ හිතෛෂී හැමෝම කිව්වා. මං ආදරණීය කීකරු පුතෙක්, දයාබර සහෝදරයෙක්. මං නැති වෙලා කොහොමද?

මේ පාර නම් මගෙ විභාගයෙනුත් අසමත් වෙන එක ආයෙ කියන්න දෙයක් ද? ඉතින් මොකෝ ඕක ආයෙත් සැරයක් කරන්න බැරුවායැ, ජීවත් වෙලා හිටියොත්. අණ කරන්නෙ පණ තියාගන්න.

අම්මාගේ වදන් මට ඇහෙනවා. අම්මා මා කොතරම් ආදරයෙන් බලා ගත්ත ද? රෑ සිහිනයක් දැක බය වෙලා හඬ හඬා මා බලන්නට බෝඩිමට ආවා. ඒ මං ඉස්කෝලෙ බෝඩිමේ ඉන්න සන්දියේදි.

“ඒත් අම්මෙ, මං කොහොම ද මේ හැම දෙයක්ම නිවැරදි කරලා ජීවිතයට යළි මුහුණ දෙන්නෙ. මට යන්න අවසරයි” එසේ සිතා මං පනින්න හැදුවා.

අම්මා කොච්චර නම් වැළපෙයි ද? මා නිසා. මගේ අයියා අකාලයේ මිය ගිය පසු දින ගණනක් ඇය හැඬුව හැටි මට මතකයි. යම්තම් උමතු ලෙසත් හැසුරුණා, අවුරුදු ගාණක්ම. ඉතින් මාත් නැති වුණොත්. මං ආවේගය මැඩ ගෙන, පසු බා සිට, එ අසළ වූ ගලක වාඩි වුණා. මට මහ හයියෙන් හැඬුණා අම්මා නිසා.

එතකොට තමයි සිහිනෙන් වගේ මට ගැහැණු කඩ හඬක් ඇසුණෙ.

“ප්‍රසන්න ඔයා මොකද තනිවම ඔතැන කරන්නෙ?”

මම හැරී බැලූවෙමි. විනීතා, ඇය ඇවිත්. ලැජ්ජාවෙ බැහැ. මම නැගිට්ටේ ගඟට පනින්නයි. නමුත් ඈ මගේ පයින් අල්ලාගෙන බිම පෙරලූණා.

“මට මේ ගමන යන්න දීපං පරට්ටි!”

“බැහැ ඔයාට තනිව මේ ගමණ යන්න දෙන්න බැහැ. ඔයා පැන්නොත් මාත් පනිනවා!”

“මොනවා විනීතා මා සමඟ එකට දිවි නසා ගන්නවා?” අදහගන්නත් අමාරුයි. මට එක පාරට ම ඇය ගැන දුකක් හිතුණා. මා ඇයට බැන්නත්, ඒ බව නොසලකා එයා මට ආදරයෙන් කතා කරනවා. මේ අර ගහ යට අර ජඩයත් එක්ක සිටි විනීතා ම ද? නැති නම් ඒ වෙන කෙල්ලක් වත් ද? එතැන සිටියෙ?

මා මැරුණත් විනීතාට නම් මැරෙන්න ඉඩ දෙන්න බැහැ. මගෙ පණටත් වඩා ආදරය කළ කෙල්ල. මං කොහොම ද ඒ ආදරය පළුදු කරල, ආත්මාර්ථකාමියෙකු වගේ ජීවිතයෙන් පලා යන්නෙ?

ආදර සිතකට බැහැ, ආදරයේ ගැස්ම ජනිත කර වන දෙය වනසන්න. මගේ ආදරයේ හද ගැස්ම ජනිත කර වන්නෙ විනීතා . ඒකෙනුයි මගේ සිතේ ආදරයක් ඉපදුනේ. ඉතින් ඒ ගැස්ම නැති වුවොත් මගේ ආදරයත් නැති වෙනවා. මැරුණත් ඒ ආදරය මා ළඟ තිබිය යුතුයි. එ සේ නම් විනීතා ජීවත් ව සිටිය යුතුයි. එයා අයිති මට ද, වෙන කාට වත් ද කියන එක නො වේ වැදගත්. මගේ ආදරය ජනිත කර වන ගැස්ම කොතැනක හරි පැවතීමයි වැදගත්.

මම නිසල වී ඇය දෙසට හැරුණෙමි. විනීතා සිහිනයක් මෙන් මගේ පය පාමුල වැටී මා දෙස බැලූවා.

“ප්‍රසන්න මට ප්‍රගීත් සේරම කීවා. ඒ හැම දෙයක්ම කරල තියෙන්නෙ ඔයාගෙ රූමාගෙ උපදෙස් පිට. ප්‍රගීත් අරහේ බයේ ගැහි ගැහී ඉන්නවා ඔයා ජීවිතේ නැති කර ගනීවි කියලා. මට ඇවිල්ලා බලන්න කීවා. එයා ආවෙ නැහැ ඔයා පනීවි කියාලා බයට.”

“උන් එකතු වෙලා ඔයා මුලා කරලා. මං ලියන විදිහට බොරු ආදර ලියුම් ලියල තියෙනව. ඔයා රැවටිලා ඉන්න හැටි දිහා බලලා, එයාල කුරිරු විනෝදයක් ලබල තියෙනවා. ඒ අතරෙ තමයි ඔයාගෙ රූමා මට කිට්ටුව දාන්න ආවෙ. නමුත් මං මිනිහගේ වංචා සිත අඳුන ගත්තා. ඔයා එන කොටත් මං රණ්ඩු වෙවී හිටියෙ මිනිහගෙ නොහොබිනා යෝජනාවකට එකඟ නොවී. පරටත ගීත් ඔයා හොයා ගෙන ඇවිල්ලා තියෙනවා. එයාට ඉවෙන් වගේ තේරිලා ඔයාගෙ වෙනස. නිකම් පිස්සුවෙන් වගේලූ හිටියෙ. එයා වෙච්ච හැම දෙයක් ම දැකලා. ඔයාට අර මුර්ගයා ගහන වත් දැකලා. එයා ඉක්මනට මට කතාව කෙටියෙන් කියලා ඔයා බේරා ගන්න ඉල්ලූවා.”

“අනේ ප්‍රසන්න ඔයා දන්නවා නම් මං ඔයාට කොච්චර ආදරේද කියලා?”

“එහෙනම් ඇයි ඔයා අර මිනිහා එක්කක යාළු වුණේ?”

“මං බලාන උන්න අද හරි, හෙට හරි ඔයා මට ආදරෙයි කියාවි කියා. ඔයා මා ළඟ සමීපයෙන් හිටි වෙලාවක වත් එහෙම වගක් තිබුණෙ නැහැ නෙ. ඔයා අපි නඩේටම පෙන්නුවෙ එකම සෙනෙහසක්.”

“කමක් නැහැ මං ප්‍රමාද වැඩියි. ඔයා ගිහින් මිනිහ එක්ක සමගි වෙන්න. මා නිසා ඔයා මිනිහා එක්කලා ඇර ගන්න අවශ්ය නැහැ. මගේ සිතේ තරහක් නැහැ.”

“නැහැ මං එයා එක්ක සේරම ඉවර කරලයි ආවෙ.”

“ඒ කොහොම ද?”

“කම්මුල් පාරකින්, ඒක හොඳට වැදුණා.”

මම විනීතා මගේ පපු පෙදෙසට සිර කර ගත්තෙමි.

***

“ඇයි අද කාරෙකෙන් බහින්නෙ නැද්ද?”

පිර්ඇයයානිගේ හඬින් මම පිබිදුනෙමි. නොදැනුවත් ව ම අපි නිවෙස ළඟට ඇවිත්.

“පව් නේද අහිංසකයා?” ගෙට ගොඩ වන ගමන් ඇය කීවාය.

“හ්ම් ජීවිත අකාලයේ බිලිගන්න තරම් ආදරයට සුදුසු කම් නැහැ. ඒක හරියට කලින් කලට අපගේ සිත්වල ඇති වෙන හැඟීමක් පමණයි. අනෙක් හැම එකක් වාගේම අස්ථිරයි, ඒ හැර සුවිශේෂ වැදගැම්මක් නැහැ!” මම සිතින් පිළිතුරු දුන්නෙමි. මා කිසි දිනෙක හරියාකාරව පිරු ප්‍රියානිට මේ කතාව කියා තිබුණේ නැහැ.

නිමි

ගැට පද විවරණය:
අංඩර කනවා - රැවටීමට හසුවෙනවා
ඇණ ගන්නවා - අසමත් වෙනවා
කනවා - ආදරේ කී විට පරවා තික්ෂප වෙනවා
සැල ගැහීම - ගැහැණු ළමයින් හා නිකරුණේ කථා කිරීම
රූමා - එක කාමරේ වසන මිතුරා
බැච් - එකවර පාඨමාලාව හදාරන සිසු කැළ
මැත - ගණිතය
දා ගන්නවා - යම්තම් සමත් වෙනවා
තෙල බෙදනවා - විෂයයනට අදාල නො වන දේ කතා බහේ යෙදෙනවා
ක්‍රෑම - කට පාඩම් කිරීම


Nissanka Rajapaksa

unread,
Aug 23, 2025, 7:44:13 PM8/23/25
to INDRAKA group
22
"ශුන්‍යය"  

- නුවන් ඉෂාර මහගමගේ

මේ දැනෙන සිතිවිල්ල මරණයවත්දැ'යි මට සිතෙයි.
දින කිහිපයක් පුරා නිදිපෙති භාවිතයට ගැනීමෙන් ද මම හෙම්බත් වී සිටිමි. නින්ද නොයෑම තරුණ කාලයේ දී ආශීර්වාදයක් ම වූ බැව් මට මතක තිබේ. විශ්ව විද්‍යාල කාලයේදීත්, මහාචාර්‍ය වාස් සමගින් ශුන්‍ය අවකාශ පිළිබද ව කරන ලද පර්‍යේෂණ වලදීත් නිදි නැතිව ගත කළ කාලය මෙතෙකැයි කිව නොහැකි ය.නින්ද යනු මාගේ පසමිතුරා බව එකල මාගේ ඇදහීම යි. නොනිදා සිටීම් විසින් මාගේ තුරුණු මනස මා ගැනම අධි නිශ්චයකින් ද, නිරන්තර ගවේෂනශීලී බවකින් ද පුරවාලී ය. 

දැන් මට ඕනෑ සදාකාලික නින්දකි. ජීවිතයේ කිසිදා නොවිදි නිද්‍රාශීලීත්වයේ සැනසුම් සුවයකි.

මම අද දවසේ දහ හතරවැනි වරටත් ඉදිරිපිට හිටගෙන සිටිනා දර්පණයාගෙන් මුහුණ බලමි. අඳුරු සහගත කාර්‍යාල කාමරයේ ඇති සියල්ල දර්පණය විසින් උරාගෙන තිබේ. මම දකුණු පසටත් වම් පසටත් එබෙමින් දර්පණය හරහා මගේ කාමරය පිරික්සමි. සියලු භෞතික වස්තූන් අඩි දෙකක් පළලැති අඩි හතරක් උසැති අවකාශයක ගුලිවෙලා ය. එහි සටහන් ව ඇති මගේ මුහුණේ පිටපත කලින්ටත් වඩා පැහැදිලිව පෙනෙයි. කිසිදා සුදු පෑ නොවුනු කොණ්ඩය දර්පණයෙන් ද දීප්තිමත් කලු පැහැයකින් දිලේ. එකදු රැල්ලක් නොවැටුනු මුහුණ මළානික ව මදෙස බලා සිටියි. 

වයස අසූ එකක්! ඔව් අවුරුදු අසූ එකක්. 

අවුරුදු අසූ එකක කාල අවකාශයක් අවුරුදු විසි අටක තරුණ සිරුරකට වී මදෙස බලා සිටියි. මේ විපැත්තිය සිදු නොවුනා නම් අද මා දරු මුණුපුරන් වටකරගෙන ලොඹු කටකින් කතන්දර කියනා වයසක සීයා කෙනෙකි. 

••••••

මහාචාර්‍ය වාස් සිනාසෙමින් මා උරිස්ස මිරිකාගෙන සිටියි.

"පලයන් පුතා. පලයන්. උඹ මේ ජීවිතෙන් පලයන්" ඔහුගේ සිනහව ඇස්වල දීප්තියෙන් තීව්‍ර වෙයි.

දින තුනක මනා පුහුණුවකින් පසු මම මස්තිෂ්කයේ හදිසි ප්‍රතිචාර පිළිබදව වන නියුරොලොජික පරීක්ෂණයෙන් සමත් වීමි. ඔබ විස්වාස නොකරන තරම් ඉක්මනකින් මම එයට හැඩගැසීමි. කොහොමත් ඒකට මං ඇරෙන්න වෙන කෙනෙක් හොයාගන්න වාස්ටත් බෑ. මගේ අධිමානය මා වටාම වෙලෙයි.

තව පැය භාගයකින් මම රසායනික චිකිත්සාවට පෙනී සිටිය යුතු ය. දැඩි කුතුහලයකින් සහ ලෝකයේ ඉතා සීමිත පිරිසකට පමණක් ලැබෙතැයි මම දැඩිව ඇදහූ විශ්වාසයෙන් මා පිරී යයි. මහාචාර්‍ය වාස් සමග මේ පර්‍යේෂණ වල නියැලුණු විදෙස් ඇදුරන් කිහිප දෙනෙකුත් තවත් සියයකට අඩු මා වැනි පරීක්ෂණාගාර මීයන් කිහිප දෙනෙකුත් හැර මේ අත්දැකීම කවුරුන් විඳින ලද්දක් ද? 

"Mama test ekata face karannai yanne" 
ඇයට යැවූ කෙටි පණිවුඩයේ සටහන් කරමි.

මස්තිෂ්ක ප්‍රතිචාර විද්‍යුත් චුම්බක මගින් ක්ෂණික ව උරාගත හැකි ලෙස කොණ්ඩය බූ ගා ඇත. එහි ගල්වනු පිණිස සූදානම් කළ විකිරණ උරාගැනීම් සහිත ජෙල් එක මේසය මත තිබේ. මේ ගැන මම වාස් එක්ක අවුරුද්දකට වැඩි කාලයක් පර්‍යේෂණවල නියැලුණු අතර මගේ පළමු රැකියාව උනේද මාගේ නිබන්ධන පරීක්ෂකයා වූ මහාචාර්‍ය වාස් සමග ඔහුගේ සහායක වීම යි. මින් ඉස්සරහට කුමක් වේ දැයි මම නොදනිමි. ජීවිතයේ උගත් වටිනාම දේ නම් මුහුණ දීම යි. ඉතින් මුහුණ දෙන්නට මා සූදානම් ය.

"ඔව්, මං ලෑස්තියි සර්" 

"පුතා උඹ මේ ලෑස්ති වෙන්නෙ උඹවම ඩිෆීට් කරන්න. තමන්ව පරාද කරලා ගන්න දිනුම තරං දිනුමක් මිනිහෙක්ට ජීවිත කාලෙදි ගන්ඩ බෑ."

"දැට්ස් වයි අයෑම් හියර් සර්, මට ඒ ගැන සතුටුයි"

"මතක තියාගනින් පුතා ඇග්‍රිමන්ට් එක. අවුරුදු හැටෙන් පස්සෙ උඹ නිදහස් මිනිහෙක්. ඊට පස්සෙ මේ ලෝකෙ අපූර්ව ම මිනිස්සු කීප දෙනෙක් අතර උඹ ඉදියි"

මද වේලාවකින් මම ඉලෙක්ට්‍රොනික පුටුව මත ඉදගනිමි. ඒ ඉරියව්වෙන් ම මා ස්කෑනරය වෙතටත්, අවසන් රුධිර පරීක්ෂාව වෙතටත් යා යුතුය. පැය තුනක පමණ මස්තිෂ්ක චිකිත්සනයෙන් පසුව බොහෝවිට මා සදාකාලික තරුණයෙක් වනු ඇත. එය සත්‍යයක් ද, බොරු වෙන්නටත් බැරි නැත. කාල තරණය වෙනුවට නව සංකල්පයක් ලෙස ශුන්‍ය අවකාශ හරහා ටයිම් බ්ලොක් කිරීම පිළිබදව මහාචාර්‍ය වාස්ගේ ඉගැන්වීම් හරහා මට බෝ උනු පිස්සුව හොඳ වෙයිද?

මම වාස් සමග අවසන් කෝපි කෝප්පය පානය කරනු පිණිස තව විනාඩි දෙකක් ඔහුගේ පරිඝණක මේසය අසල රැඳෙමි. වාස් අතැති කෝප්පයේ කෝපි ද්‍රාවණය සෙමින් සෙළවෙනු මට පෙනෙයි. ඒ මිනිහා බය වෙලා යැයි මට හිතෙයි. මට ඒ ගැන ද සතුටක් දැනේ.

•••••

මම දිනපොත අතට ගනිමි. තව දවස් තුනකින් එකඟ වූ කාලය අවසන් වෙයි. හැටවන උපන් දිනය එළැඹෙන්නේ ජීවිතයේ සුන්දර ම දිනයක දී ය. තව දවස් තුනකින් මමත්, මගේ ම ලෙයින් ඉපදුණු දරුවාත් අවුරුදු විසි අටක නිවුන්නු බවට පත්වෙන මොහොතකි ඒ.

මහාචාර්‍ය වාස්ගේ මරණයෙන් පසු මගේ හිත තදින් කළඹන දවසක් තව එන්නේ මගේ හැටවන උපන් දිනය දා ය. මම එයට සූදානම් ව සිටිමි. වාස්ගේ මරණය ගැන සටහන් සොයාගැනීමට දිනපොත් එකතුව පීරන්නට මට ඕනෑ ය. තාත්තාගෙන් ලැබුණු පුරුද්දකි මේ දිනපොත් ක්‍රමය. පෑනක් අතට ගෙන යමක් කඩදාසියක ලියනා තරම් ආත්මීය බවක් මට තවම විද්‍යුත් තිර සටහනකින් නොලැබෙයි.

ආ මේ තියෙන්නෙ..

"මහාචාර්‍ය වාස් සමග මට තිබුනේ කවරාකාර බැදීමක්දැයි මට කල්පනා වෙන්නේ මේ මොහොතේ ය. ඔහු මා ඉපැද්දූ පියාණෝ ය. කොටින් ම මිනිහෙක්ට ජීව විද්‍යාත්මක පියෙකුගෙන් පිට පියෙකු නොසිටින්නට නොහැකි ද. ඔහු මාගේ රසායනික පියා ය. මට හැඬුමක් නොඒ. මාගේ පරම ජයග්‍රහණය මා වෙත ගෙන ආවේ ඔහු ය. සදාකාලික අවුරුදු විසි අටක තරුණයෙක් බවට මා පත් කළ මාගේ රසායනික පියාණන් අදින් පසු දෙණකවත් බහා මට දැකගත නොහැකි ය. මම නොහඬා හඬා වැටෙමි"

මම දිනපොතේ කෙටි සටහන් ද වෙනත් කුරුටු බලිද, ලියන්නට කම්මැලි වූ දිනවල හිස් පිටුද සමූහ ලෙස පෙරළා දමමි. ඒ පිටු අස්සේ සිරකල නොහැකි වූ ජීවිතයක් මට තිබේ. කොටින් ම දින ගෙවුන ද ජීවිතය නතර ව ඇති ජීවිතයක් මට තිබේ. මිනිස්සු තත්පරේකට දෙකකට, විනාඩියකට, පැයකට අයදින දේ මට දැන් සදාකාලික ව ම ලැබී තිබේ. මම දිනපොතෙහි ලියන්නට අසමත් වූ දවස්වලට ද පිටු වෙන්කළ එක හොඳ ය. නැත්නම් ඒ දවස් ගෙවී ගියේ කොයි තරමින්දැයි ඉඳ හිටවත් සිතන්නට වෙන්නේ නොවේ.

අවුරුදු හැටේදී තම පුත්‍රයාගේ ම වයසේ පියෙකු වන්නට ලැබීම! ආශ්චර්‍යයක් නොවේ ද?

"අද පුතා ඉපදුනු දවස. ඒ වගෙම අදට අපේ වැඩේට අවුරුදු හතරක්. මමත් වාසුත් හවස ඉස්පිරිතාලෙ ඉඳන් කෙලින් ම ආවෙ ලැබ් එකට. මම ලොකු කාලෙකින් තමයි එලියට ගියේ. වයස යන්න ගියා නම් දැන් මට තිස් දෙකක්... දරුවා කොල්ලෙක් උනාට වඩා මම කැමති කෙල්ලෙක් උනා නම්."

දිනපොත් අස්සේ සිට මට අහිමි වූ වයෝවෘද්ධ බව පොලා පනියි. මම එයට විරිත්තමි. කාලය නොනැවැත් වූ අප, කාලයට යන්නට හැර එහි නැවතී සිටිමු. වාස් මියෙනතුරා ආඩම්බර වූයේ මා ගැන ම පමණකි.

"උඹ තාම ඒ කොල්ලමයි බං. මං උඹව හැදුව එහෙනම්"
ඔහු තමා ගැනම ගෞරවයකින් ආඩම්බර වෙයි. එවැනි වෙලාවක තමාගේ මාහැගි වස්තුවක් ලෙස ඔහු මා ස්පර්ශ කරයි.

බිරිඳට මා හමුවන්නට අවුරුද්දකට පසු දැන් දිනය ළඟ ළඟ ම එලැඹ තිබේ. ඒ මීට පෙර මෙන් අවුරුද්දට වතාවක් නොවේ. මගේ ඇග්‍රිමන්ට් එක ඉවරයි කියන්නේ මා පර්‍යේෂණයෙන් ඉවත්වෙන බව නොවේද. මගේ නේවාසික කාලය අහවර කොට මට ඈ සමග නිවෙසට යා හැක. අහා!

 අවුරුදු තිස් දෙකකට පසු මම ගෙදර යනවා. 

සිය විසි අටහැවිරිදි පියා ගෙදර කැන්දාගෙන යාමට මව සමග එන විසි අට හැවිරිදි පුත්‍රයා මට සිහිනෙන් පෙනෙන්නට ගනියි. තව දවස් තුනක් මේ හීන ඉවසා සිටිය යුතු ය.

**************************

මම තවම කණ්නාඩිය ඉදිරිපිට ය. හීනවල තිබුනු සියල්ල ඉටු කරගත් මම දැන් හිස් අතින් බලා සිටිමි. ඒ වෙන කිසිවක් දෙස නොවේ. දකින්නට සිහිනයක් නැති හිස්කම දෙසයි. මගේ ඇස් හිස් ය, දෑත් මෙන් ම හිත ද හිස් ය. කාලය අසලකවත් නැත. 

දේවල් සිදු වූයේ හිතූ ලෙස නොවේ.

අවුරුදු විසි අටක තරුණයෙකු සමග මහපාරේ එලිපිට දීග කන්නට ඇයට නොහැකි බැව් මට තේරුම් ගියේ එදා නිවසට එන අතරතුර ම ය. අප අතර අප දෙදෙනා ම නොදත් යමක් තිබී ඇත. මගේ තරුණකම ගැන මමත් ඇයත් අපමණ ප්‍රීති වුණෙමු. එහෙනම් අප දෙදෙනා අතර කලින් නොතිබි මේ සුවිසල් තාප්පය බැන්දේ කවරහු ද. අප අවුරුද්දකට වතාවක් හෝ හමු වූ වේලාවල කතා කරන ලද්දේ අනාගතය ගැන යි. සිය තරුණ සැමියා ගැන ඈ යටි සිතින් දැඩිව ආශා කළා ය.

ඈ මියයන තුරු මට සිදු වූයේ ගෙහි කාමරයක සිර වෙන්නට ය.

මා මෙහි පැමිණි දින සිය මිතුරන්ට මහ ඉහළින් මා හඳුන්වා දුන් පුත්‍රයා මා ගැන දරුණු ලෙස ආඩම්බර වී ය. අදටත් කොහේ හෝ සිට මා ගැන ආඩම්බරයක් ඉතිරි කරගෙන ඉන්නවානම් ඒ ඔහු පමණි. එහෙත් ඒ ආඩම්බරය එළිපිට පෙන්වන්නට ඔහුට වැඩිකල් ලැබුනේ නැති. 

"මේ මගේ නිවුන් තාත්තා" යි කියමින් ඔහු මා බදාගත් අයුරු මට මතක ය. ඔහුගේ මිතුරෝ පුදුම කරවන්නට මේ තරුණයා එදා හිටියේ මහත් උනන්දුවෙනි.

මා සතුව ඔරලෝසුවක් හෝ දින දසුනක් නොතිබූ නිසාත්, දිනපොත් ලිවීම ගෙදර ආ දින සිට මා සිදු නොකළ නිසාත් කාලය ගෙවුනා යැයි මම නොසිතීමි. කෙසක් හෝ පැසුනා නම් මට ඒ ගැන සිතන්නට තිබිණ. එහෙත් මා අවට ලෝකය වයසට යමින් ද මියැදෙමින් ද තිබී ඇත.

"තාත්තෙ, මට දැන් හතලිස් අටක්." ඒ ගිය අවුරුද්දේ ඔහුගෙන් ලද අවසාන දුරකතන ඇමතුම යි. එසේ කියමිනුයි ඔහු දුරකතනය විසන්ධි කෙරුවේ. 

මට තවත් ඔහුට මා බලන්නට එන්න යැයි කිව නොහැක. කුඩා කල සිට ම මා තුළ තිබූ අධි නිශ්චය හේතුවෙන් මම කිසිවෙකු බලන්නට නොයමි. දැන් මාගේ එකම පුත්‍රයා මා බලන්නට සිය බිරිඳ හා දරුවන් සමග එන්නට මැළි වෙයි. කායික ශක්තියෙන් ද, පෙනුමෙන් ද ඔහුට වඩා තරුණයෙකු වූ මම, මාගේ ම පුත්‍රයා ඉදිරිපිට අසරණ දරුවෙකු වූයේ කෙසේද..?

"මම ඒ ඇවිත් මොකක්ද පොඩි එවුන්ට කියන්නෙ?" ඔහු මගෙන් නොඅසා අසන්නේ එය වෙන්නට බැරි නැත. වයස විසි අටක සීයා කෙනෙක් දකින්නට පොඩිවුන් අකමැති නොවේ. ඒත් ඒ ටික කාලයකට ය. උන් වැඩිහිටි වනවිට , කොටින් ම මා පසුකර යනවිට මේ සියල්ල ආයේ දෙදරා යනු ඇත. සදාකාලික තරුණයෙකු සදාකාලික මහලු ආත්මයකින් දුක් විදියි. මට දැන් වයසට යා යුතු ය. වේගයෙන් වයසට යා යුතු ය. 

එහෙත් දැන් මේ මොහොතේ මා ඉදිරිපට ඇති බරපතල ගැටළුව එය නොවේ. මම නැවතුනෙමි. ඉතින් එහෙයින් ම මාගේ අවසානය මා සොයාගත යුතු ය. මම කාලයට අවනත නොවීමි.

ජීවිතයේ පළමු වතාවට මාගේ රසායනික පියා-මහාචාර්‍ය වාස් කෙරෙහි මා තුළ ද්වේෂයක් හටගන්නේ ද.. නොදනිමි. සැකයකි. මා සදාකාලික තාරුණ්‍යයක සිරකොට තබා ඔහු සිය නිවීම ළං කරගත්තේ යැයි මගේ චෛතසික ඉඟි කරයි.

මම නවකතාකාරයෙක් නොවේ. එහෙම උනා නම් මට මේ ජීවිතයට හොඳ අවසානයක් දෙන්නට තිබුනි. එහෙත් සිය කතාවට අවසානයක් දෙන්නට නොහැකි එක්තරා නවකතාකාරයෙක් යැයි මට මා ගැන දැනෙන්නට ගනියි. හැඟෙන්නට වෙයි.

මේ කල්පනා විසින් මාගේ නින්ද ජීවිතයේ බොහෝ කාලයකට පසු මා හැර ගියේ ය. මට තිබූ අනර්ඝම වස්තුව! නින්ද- මා හැර ගියේ ය. මහාචාර්‍යවරයා සමග පර්‍යේෂණ සහායක ව ඉන්නා කාලයේ දී මම මාගේ මිතුරා-නින්ද හිතාමතා ම පන්නා දැමුයෙමි. 

දිලෙන තුරුණු දෑස්වලට මම වෛර කරන්නට ගනිමි. මට ඒවා සුදෙන් වැසී යා යුතු ය. දින, සති, මාස වශයෙන් ඒවා වෙනස් විය යුතු ය. කෙමෙන් පෙනීම දුර්වල විය යුතු ය. කොටින් ම කාලයෙන් ප්‍රයෝජනයක් ගත යුතු ය. ලෝකය ම කාලය සමග යද්දී මම අවුරුදු විසි අටෙන් පසු එළැඹි එකදු නිමේෂයක ජීවත් වී නැත. කොටින් ම මා මියැදී ඇත්තේ එදා ය. හරියට ම අවුරුදු විසි අටේ දී ය.

"පුතා, මිනිහෙක් වශයෙන් උඹේ වටිනාකම ගනින්න බෑ අනාගතේදි" 

වාස් මියයන්නට පෙර එහෙම කියුවේ ය. එහෙත් වටින්නට නම් මා කාලය ගෙවා අනාගතයට යා යුතු ය. අනාගතය කොතනදැයි සියමින් මා දැන් අනාථ ව ඇති සෙයකි.

මට එක්වර ම මා ඉදිරිපිට ඇති දර්පණයෙන් මහාචාර්‍ය වාස් දිස්වෙන්නට ගනියි.

"පලයන් පුතා. පලයන්. උඹ මේ ජීවිතෙන් පලයන්"
 
ඒ වචන දෙකන් හි දෝංකාර වෙයි.

මම මහාචාර්‍යවරයා සමග කෝපි කෝප්පය පානය කරමි. මාගේ හිස බූ ගා ඇත. එහි ගල්වනු පිණිස සැකසූ ජෙල් ද්‍රාවණය පසෙක ඇත. ස්කෑනරයක් ද, රුධිර පරීක්ෂාව සහ හෘද ක්‍රියාකාරීත්වය බලනු පිණිස සූදානම් ව පර්‍යේෂණ සහායිකාවක් ද ඈතින් බලා සිටියි.

"කොයි ජීවිතයෙන් ද මම යන්න ඕන"

මම මහාචාර්‍යවරයාගෙන් අසන මගේම හඬ මට ඇසෙයි...


Nissanka Rajapaksa

unread,
Aug 24, 2025, 10:53:43 PM8/24/25
to INDRAKA group
23

විදුලි පණිවිඩය


- එස් ඩබ්ලියු කුමාරදාස

උඩහගෙදර ලොකුඅම්මා කලබලයෙන් මෙන් අපේ නිවෙස වෙත පැමිණියාය. ඇය අත නමන ලද කඩදාසියක් විය.

“පුතේ… අම්මා ඉන්නවාද?” ඇය නිවෙසට ගොඩවදින ගමන් ඇසුවාය.

“අම්මා කුස්සියේ…” මම පිළිතුරු දුනිමි.

මම ලොකුඅම්මා සමඟ කුස්සියට ගියෙමි. අපේ පැමිණීමත් සමඟ අම්මා හිස ඔසවා බැලුවාය.

“අක්කේ… හදිස්සියක් වත්ද?” ලොකු අම්මාගේ ස්වරූපය දුටු අම්මා ඇසුවාය.

“නංගියේ… මේ දැන් මේ ටැලිග්රෑම් එක ආවේ…” අම්මා විදුලි පණිවිඩය කියවීමට වූවාය.

‘ලතා දුවට පුතෙක් ලැබුණා… දෙදෙනාම සනීපයෙන්… මෙයට ආර්.එම්. සිල්වා’

අම්මා හිස ඔසවා, මවිතයෙන් මෙන් ලොකු අම්මා දෙස බැලුවාය.

“මේක හරිම අපබ්‍රංසයක්… නුගේගොඩ අයියා ගිය සතියේ පෝස්ට් කාඩ් එකක් එවල තිබුණා නේද? දැන් ලතා දුව රේස් පිටියේ අලුතෙන් දාපු විශ්වවිද්‍යාලයට යනවා කියලා? ඊටත් වැඩිය නුගේගොඩ අයියා මෙහෙම නම ලියන්නෑ.” අම්මා එසේ කීවේ විදුලි පණිවිඩය නිසා ඇති වූ ගැටලුසහගත බව නිසාමය.

“කොහොමටත් අද අපි හවසට නුගේගොඩ අයියලගෙ ගෙදර යමු. මෙහෙන් හැන්දෑවෙ තුනට ගියත් ඇති.” ලොකු අම්මා එසේ කීවේ විදුලි පණිවිඩය ලැබීමෙන් ඇතිවූ කුතූහලය නිසා බව මට සිතිණි.

“පුතේ, දැන්ම ගිහින් හන්දියේ සොයිසා උන්නැහැගේ කාර් එකට අද හවස තුන වෙන කොට මෙහේ එන්න කියන්න…” ලොකු අම්මා මට කීවාය.

අපි නිවෙසින් පිටත් වන විට සවස තුන පසු වී තිබිණි. අලුත්ගමදී තවත් පැය බාගයක් පමණ ප්‍රමාද වීමට සිදු විය. සේවකයා වෙළෙඳසල වසන තුරු ලොකු අම්මා සියලු විස්තර ලොකුතාත්තාට කිවුවාය.

අප ගමන් කළ මෝටර් රථය බොරලු පාර දිගේ ගමන් කිරීමේදී නැඟුණු ශබ්දය ඇසී ලතා අක්කා මිදුලට ආවාය. ඇය පුදුමයෙන් මෙන් අප දෙස බලා සිටියාය. අම්මාත්, ලොකුඅම්මාත් මෝටර් රථයෙන් බසින විට ලතා අක්කා දෙදෙනාගේ අත්වලින් අල්ලා ගත්තාය.

“මොකක් හරි ප්‍රශ්නයක් වත් ද?” ලතා අක්කා ඇසුවාය.

“පස්සෙ විස්තරේ කියන්නම්. අම්මා කෝ?” ලොකුඅම්මා ලතා අක්කාගෙන් ඇසුවාය.

නැන්දා ඒ වන විට වියළි පොල් අතු දෙකක් ඇදගෙන වත්ත පහළ සිට නිවෙස දෙසට එමින් සිටියාය. ඇය අප දැක කලබලයෙන් පොල් අතු දෙක මඟ දමා ආවාය.

“නංගිලා මොකද මේ හවස් යාමේ… හදිස්සියක් වත්ද?” නැන්දා ඇසුවාය.

“අයියා දැන් එනව ඇති නේද? අක්කා කලබල වෙන්න එපා… මේ ටැලිග්රෑම් එක බලන්න…” ලොකු අම්මා විදුලිපණිවඩය නැන්දා අත තබමින් කීවාය.

ඉතා විමසිල්ලෙන් විදුලි පණිවිඩය කියවූ නැන්දා, දැඩි ලෙස කෝපයට පත් වී, දෙස් දෙවොල් තැබීමට වූවාය.

“මුන්ට වැහි නැති හෙණ ගහන්න ඕනෑ… ගෙවල්වල ඉන්න ගෑනු දරුවන්ට පද හදනවට! මේක මුදලාලි මහත්තයගෙ අයියගෙ වසවර්තියගෙ වැඩක්. අයියට එකම එකාවත් හදාගන්න බැරි වුණා. ඉගෙනගත්තෙ නෑ… ඉස්කෝලෙ යනව කියල ගිහින් අතන මෙතන රස්තියාදු ගැහුවා… අපේ දුව විශ්වවිද්‍යාලෙට ගියාම, ඒක දරාගන්න බැරිව ඊර්ෂ්‍යාවට කරපු වැඩක් මේක. අයියගෙ වැඩපොළෙන් අයින් වෙලා මුදලාලි මහත්තයා වෙනම වැඩපොළක් දැම්මට පස්සෙ අයියට වඩා අපට වෛර බැන්දෙ ඔය වසවර්ති පුත්‍රයා තමයි…” නැන්දා කැකෑරෙන කෝපය පිට කරමින් පැවසුවාය.

අප නිවෙසට පැමිණ විනාඩි කිහිපයක් යෑමට පෙර මාමා ටැක්සි රියකින් පැමිණියේය. අප දුටු විගස මාමා තුළ සතුටක් මෙන්ම විමතියක්ද ඇති වූ බව දැකගත හැකි විය.

“මොකද හදිස්සියෙන් මේ පැත්තෙ? මම මස්සිනාලට මේ පැත්තෙ එන්න කියල ලියුමක් දමන්න හිටියේ…. මං එවපු පෝස්ට් කාඩ් එක හම්බු වෙන්න ඇති නේද?” යැයි

අසමින් මාමා ලොකු තාත්තා වාඩි වී සිටි පුටුව අසල පුටුවක වාඩි විය.

“මස්සිනා කලබල වෙන්න දෙයක් නෑ… මේ ටැලිග්රෑම් එක කියවල බලන්න.”

මාමා ඇස් කුඩා කර විදුලි පණිවිඩය කියවූවේය.

“මේක අයියගෙ පුතා – විමලයගෙ වැඩක්… මේක අහන්න දෙයක් නෑ මේ මනුස්සයා ඉගෙනගත්තෙ නෑ… අයියගේ දේපළ විනාශ කළා. අපට හැමදාම ඊර්ෂ්‍යා කළා…” මාමා කීවේ කලකිරුණු ස්වභාවයෙනි.

“කමක් නෑ… මස්සිනාල ආපු එක හොඳයි… මං හිතන් හිටියෙ ගෙවල් දෙකේම අයට කෑමක් දෙන්න. දැන් ඉතින් ආපු එකේ රෑ කෑම කාල යන්න…” යැයි මාමා ඉල්ලා සිටියේය.

නැන්දාත්, ලතා අක්කාත් අප වෙනුවෙන් ඉතා උනන්දුවෙන් රෑ කෑම පිළියෙල කළහ. ලතා අක්කා අපට කෑමට ඇරියුම් කළාය. “ඉලන්දාරියා… මෙතනින් ඉඳගන්නවා!”

මාමා මගේ අතින් අල්ලා, ළඟින් වාඩි කරවාගත්තේය. කෑම කන අතර, මාමා කලින් සතියේ තාත්තා නමට එවූ තැපැල් පත මගේ මතකයට නැඟිණ:

‘ගම් සභා හන්දිය

නුගේගොඩ.

26.09.67.

තෙරුවන් සරණයි!

ආදරණීය මස්සිනා ඇතුළු පවුලේ සියලු දෙනා වෙතයි. එවන ලද ලිපිය ලැබුණා. පිළිතුරක් එවීමට නොහැකි වූයේ ගෙදර සියලු දෙනා හිතේ කරදරයෙන් පසු වූ නිසයි. ඒ, සුදු නෝනාට විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්න සුදුසුකම් ලැබුවත් යම් ප්‍රශ්න මතු වූ නිසයි. බොහොම මහන්සි වෙලා ප්‍රශ්න විසඳුණා. දැන් දුව රේස් පිටියෙ අලුතෙන් පටන්ගත්තු විශ්වවිද්‍යාලයට යනවා. ඉඩ තියෙන වෙලාවක පවුලේ සියලු දෙනා දවල් කෑමකට මෙහේ එන්න. අපි සියලු දෙනා සනීපෙනි.

මෙයට,

නුගේගොඩ මස්සිනා.’

https://www.silumina.lk/2025/08/23/news-features/47113/%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%94%e0%b6%bd%e0%b7%92-%e0%b6%b4%e0%b6%ab%e0%b7%92%e0%b7%80%e0%b7%92%e0%b6%a9%e0%b6%ba/?fbclid=IwY2xjawMYrW5leHRuA2FlbQIxMQABHjSgq0XKf9EljXTKNaenE1kLrw5hgL8QU1i3BvY9P029aTvhnfuC0CVJPyJV_aem_92zdDPzI6P52pd4XmCSwQQ

Nissanka Rajapaksa

unread,
Aug 29, 2025, 1:38:16 AM8/29/25
to INDRAKA group
24
මංගල යෝජනා 

- බල්ගේරියානු ලේඛක ක්‍රොවුම් ගිරිගෝරෙව්ගේ කෙටිකතාවක්

සිංහල අනුවාදය – බොබී ජී බොත්ජු


කෙනකු උපත ලැබූ විගසම ඔහුට හෝ ඇයට ගැලපෙන කෙනකු සොයන්නේ මන්දැයි මම නොදනිමි. මා පස් හැවිරිදි වියේ පසුවෙද්දී ඒ වනවිට හරියට කළිසම හැඳ ගැනීමටවත් හැකියාවක් නොතිබි කාලයක මගේ මව හමුවීමට ඇගේ මිතුරියක් ආවාය. ඇය මා දෙස බලා මෙසේ කිවාය.

“හොඳයි ස්ටැන්කා. මේ තමයි මගෙ බෑනා. මට ලස්සන දුවක් ඉන්නවා. කවුනේ කඩවසම්. අපි නෑදෑයො වෙමු. එතකොට හැමෝම ඊර්ෂ්‍යා කරාවි”

ඕ මා අතගා හුරතල් කර මා අතට රස කැවිල්ලක් දුන්නාය.

ඇයට ලොකු දියණියක් සිටින බවත් මාව රැකබලා ගැනීම සඳහා ඇයට විවාහ කර දෙනු ඇති බවත් මට සිතිණ. නිතරම මගේ දෙමව්පියෝ මා නිවසේ තනිකර සමහර අවස්ථාවල අස්වනු නෙලීමටත් ධාන්‍ය ඇසිලීමටත් කුඹුරට යති. එබැවින් මගේ තනියට කවුරුන් හෝ අවශ්‍යයග

මා උසස් පාසැලේ ඉගෙනුම ලබන අවදියේ අපේ නිවස අසළ සිටින සේරා ජි ජෙ මාර්ගයේදී මා හමුවූ විට මට දේශනයක් කරයි.

“කවුනේ ඉලන්දාරියාල ඔබ කඩවසම් තරුණයෙක්. ඒත් ඇයි ඔබ අධ්‍යාපනය ලබමින් කාලය නාස්ති කරන්නෙ? නිවාඩු කාලෙ මම ඔබ දිහා බලාගෙන හිටියා. ඔබ කම්මැලි නැති වෙහෙස වෙලා වැඩ කරන කෙනෙක්. ඔබගෙ දෙමව්පියො ඔබට විවාහයක් කර දෙන්නෙ නැත්තෙ ඇයි? ඔබට කෙල්ලක් තෝරාගන්න මම උදව් කරන්නම්. අපේ ගමෙන් නෙවෙයි නම් අහළ පහළ ගමකින් බලමු. එහෙමත් බැරි වුණොත් අපට පිට පළාතකට යන්න වුණත් පුළුවන්. අපි හොඳම කෙල්ල තෝරා ගනිමු. විවාහයකදි ඒක තමයි වැදගත්. ඔබගෙ බිරිඳට ගව පට්ටියයි කුඹුරුයි බලාගන්න බාරදිල ඔබට පුළුවනි මරාකාටාවලට ගිහින් සල්ලි හම්බු කරන්න. ආපසු ආවහම ඔබට පුළුවනි තවත් ඉඩම් මිලට අරගෙන පොහොසතෙක් වෙන්න. එච්චරයි”

“මට තව කල් තියෙනවා සාරේ මාමේ” මම කීවෙමි. “ඔබට පේනව නේද මාගෙ රැවුලවත් තවම වැවිල නැහැ. ඔබට ඇත්ත කියනව නම් මම ඉගෙන ගන්න කැමතියි. වෙන කිසි දෙයක් ගැන මගෙ උනන්දුවක් නැහැ”

“ඇත්තටම ඒක ඔබගෙ තෝරා ගැනිම” ජෙ සාරේ මාමා දිගටම කියාගෙන ගියේය. “ඒත් මතක තියාගන්න ළමයෝ ඔබට මතක හිටින දවසක අද. ශාන්ත පීටර්ගෙ දවස අද. අපට කිරෝටෝ පොලේදි ලස්සන තරුණියක් තෝරා ගන්නත් පුළුවනි”

දැනටමත් මම ගුරුවරයෙක්මි. නිතරම කවුරු හෝ කෙනෙක් මට මංගල යෝජනා ගෙන එයි. පැට්රිකිනා නමැති අපේ කුඩා ගම්මානයේ ඉඩම් හිමිකාරියක් වන සොන්සා නැන්දා මා ලිපට පිඹිමින් සිටින අවස්ථාවේ මගේ කාමරයට ආවාය. ඇය අත් දෙක අතුල්ලමින් ලැජ්ජාව අමතක කොට වඩා පැහැදිලි ලෙස වචන උච්චාරණය කරමින් කතා කළාය.

“හොඳයි අපේ රිල්කා දැන් ලොකු ගැහැනු ළමයෙක්. ඇය විවාහ වන වයසට ඇවිත්. මම මටම කියාගත්තෙ ඇයට සුදුසු සැමියෙක් හොයා ගැනීමට වෙන තැන්වලට යන්නෙ මොකටද ගෙවල් ළඟම ඉන්න කොට. තරුණ ගුරුවරයකුගෙයි අපෙයි ගෙවල් දෙක වෙන්වෙලා තියෙන්න එක දොරකින් විතරයි. ඔබ දිහා බැලුවහම ඔබත් විවාහ වෙන වයසෙයි පහුවෙන්නෙ. මම අද උදෙත් දැක්කා ඔබ රැවුල බානවා. ඒක හොඳ දෙයක්. මගෙ සෝරොත් කැමති රැවුල බාල කදිමට ඉන්න කෙනකුට. එයා දැන් දර කපන්න කැලයට ගිහිල්ලා. ඒ ගමන් ගවයන් කුඹුරුවලට ගෙනයාවි. ඔබ වැඩ කරන්නෙ කාලසටහනකට අනුව. ඔබ ළමයින්ට විවේක ගන්නයි පාසැල් වත්තෙ සෙල්ලම් කරන්නයි වෙලාවකුත් දෙනවා. ඔබ හිතනව නම් අපෙ නිවස ප්‍රමාණවත් නැහැයි කියල ඔබට පුළුවනි කමත ආසන්නයෙ ඔබගෙ ගෙයක් හදාගන්නත් පුළුවනි”

“අපි ඔබට උදව් කරන්නම්. සොරේ වයසට ගියත් එයා තවමත් ගවයෙක් වගෙ ශක්ති සම්පන්නයි. ඔබට කාගෙ හරි උපකාරයක් නැතිව හොඳින් කටයුතු කරන්න බැරි බව පැහැදිලියි. අපේ ගොඩැල්ල ලස්සනයි. කැලෑව අපූරුයි. ශාන්ත මේරිගෙ දිනය වෙන තුරු කුරුල්ලෝ සින්දු කියනවා මෙහි ඇති දර්ශනය වෙන කිසිවකට සම කරන්න බැහැ. ඔබට පුළුවනි ඔසෝගොවරව කන්ද හෝ ලේ ගල (blood stone) බලන්න. එහෙම නැත්නම් කුඹුරු බලන්න. ස්ට්‍රොමියා ගඟ දක්වා ඇති කුඹුරු යාය අපූරු දර්ශනයක්”

මා අවවාද නොකළේ නම් ඇය දවල් වනතුරු කියවාගෙන යාවි. එහෙත් මට පාසල් යාමට වෙලාව පැමිණ ඇත.

ඇය දෙවන වරටත් තෙවන වරටත් යෝජිත විවාහය ගැන කතා කරද්දි මම වෙනත් නිවසකටත් අනතුරුව ගම කෙළවර ඇති නිවස දක්වාත් ගියෙමි. පටු නළල් තලයකින් සහ කුඩා ඇස්වලින් යුතු ඇය මට කිසිදිනක මුණ නොගැසීම වාසනාවකි. ඇය රූමත් වූවේ නම් ඇගේ මවගෙන් මට බේරීමක් නොවනු ඇතග

එහෙත් මංගල යෝජනා දිගටම ඉදිරිපත් විය. මම ගුරුවරියන් දෙදෙනකු සමග ඩෙඩ්නෝ ඔයිනෝ පොළ වෙත ගියෙමි. මම සිගරැට් ගැනීමට සමාජ ශාලවේ මදකට නතරවීමි. එහි හිමිකාර මිටි තරබාරු කාන්තාව මා වෙත ආවාය.

“ආ ඔබද ගුරුතුමා? එහෙමද? ඇයි ඔබ මේ කෙට්ටු කෙල්ලො දෙන්නත් එක්ක කාලෙ නාස්ති කරන්නෙ? දෙන්නවම එකට අල්ලල තිබ්බත් පොඩ්ඩක් වත් මහත නැති බව පෙන්නෙ නැද්ද? ඇයි ඔබ අපේ සාරා බිරිඳ කර ගන්නෙ නැත්තෙ? ඇය ඔබගෙ ඇස් පිනවාවි. පීටරුයි මමයි දැන් වයසට ගිහිල්ලා. ඒත් අපේ සමාජ ශාලාව ප්‍රසිද්ධයි. දෙවියන්ට පිං සිද්ධ වෙන්න අපට පාරිභෝගිකයො ඉන්නවා. ලාබෙනුත් අඩුවක් නැහැ. ඔබ අපේ ගමේ ගුරුවරයා වුණහම සාරා හොඳ ගෘහණියක් වේවි. ඇය සමාජ ශාලාව පවත්වාගෙන යාවි. ඔබ පොහොසත් වෙලා දරුවන් ලැබුවහම ඔබට පුළුවනි නගරයට යන්න. පීටරුයි මමයි පල්ලිය ළඟින් ඉඩමක් අරගෙන ගෙයක් හදා ගන්නවා”

ඇය දිගටම කතාව ඇදගෙන යමින් එය පෙන්වීම සඳහා දෑත් දිගු කළාය. එහෙත් මගේ සගයන් නොඉවසිලිමත් වූ අතර ඇගේ විස්තරය අවසන් වීමටත් පෙරම ඔවුන්ට එක්වීමට මට සිදුවිය.

මම දුර ගම්මානයකට ගියෙමි. එහි සිටින්නේ වෙනත් මිනිසුන් බැවින් මට සැනසිල්ලේ සිටිය හැකි යැයි සිතා සිටියෙමි. එහෙත් මා වැරදිය. මගේ නිවස හිමි කාන්තාව යහපත් තැනැත්තියක වූ අතර කටකාර කාන්තාවක් වූවාය. නිවසේ සියලු කටයුතු කළ ඇය කිසිවිටක කතාව නතර නොකළාය.

“අපට මීට කලිනුත් කුලී නිවැසියන් හමුවෙලා තියෙනවා. කාන්තාවන් සහ පිරිමින් – ඒ නිසා මම දන්නවා විවාහය පිළිබඳව. ඒත් අවිවාහක තරුණයකු අපේ කුලී නිවැසියකු වූයේ ප්‍රථම වතාවටයි. ඒක මට භාරදුන්න වගකීමක් වගෙ. විවාහ මංගලෝත්සවය හැමදෙනාගෙම ඊර්ෂ්‍යාවට හේතුවේවි. මගේ සැමියා ග්‍රේරෝ උත්සවලට හරි කැමතියි. අපි මනමාලිව ගෙන එමු. අපට පුළුවනි මිදුලේ මේස ලෑස්ති කරන්න. අපි කාලගුණය යහපත් දවසකට යොදා ගනිමු. ශාන්ත ජෝන්ගෙ දිනයට ආසන්න දිනයක් හොඳයි. ඒ දවස්ලවට හොඳින් ඉර පායනවා. ගස් යට සෙවනත් තියෙනවා. අපි ගොඩේච් වල සංගීත කණ්ඩායමට ආරාධනා කරමු. ඒක හොඳම කණ්ඩායමක් ඒක වාදනය කරනකොට මිනී වළේ ඉන්න මිනිස්සුත් නැගිටල ඇවිත් නටනවාත්‍ව මම දන්නවා ඔබට හරියන කෙල්ල. පෙරෝනොව්මෙස් වල සොන්කා තමයි ඒ කෙල්ල. ඒ අයට අස්වනු නෙලන මැෂිමකුත් තියෙනවා. ග්‍රීෂ්ම නිවාඩු කාලෙ අස්වනු නෙලීම ගැන ඔබ දන්නවනෙ. සොන්කා ශක්තිමත් කෙල්ලක්. ඇය මැෂිම දුවවාවි. ඔබට තියෙන්නෙ පොප්ලර් ගහක සෙවනක් යට වාඩිවෙලා ධාන්‍ය මලු ගණන් කරන්නත් ඔබ අය කරන ගාස්තුව ගැන ලියාගන්නත් විතරයි. ඔබ වඩා කැමති වෙන කාන්තාවකට නම් ස්ටාට්ලෝ මාමාගෙ කෙල්ල ගැන බලන්න වුණත් පුළුවන්. මේ අවුරුද්දෙ ඒ කෙල්ලගෙ වයස හරියනවා. ඔබට හදිස්සි නම් ඇය පාසැල් යන එක නතර කරන්නත් පුළුවනි. ගෑනුන්ට වැඩිදුර අධ්‍යාපනය අවශ්‍ය නැහැ. උපාධිධාරියකු වෙන එක නරකමත් නැහැ. එතකොට ඇයට ගුරුවරියක් වෙන්නත් පුළුවනි. ඔබගෙ විවාහ මංගල්ලෙ සාක්‍ෂියට මටත් මගෙ සැමියා ග්‍රේරෝටත් අත්සන් කරන්න පුළුවනි. ගුරුවරයකුගෙ විවාහයක සාක්‍ෂිකාරයකු ලෙස අත්සන් කිරීම මගෙ සිහිනයක්. මම මගෙ හොඳම ඇඳුම අඳින්නම්. ඒක මහන්න කාලයක් ගතවෙනවා. ඒ ඇඳුම ගැන ඔබගෙ අදහසක් නැතුව ඇතිග”

ඇය වහාම ඇගේ ඇඳුම් මාරු කරන කාමරයට වැද ඇගේ ඇඳුම් මට පෙන්නුවාය. ඒවායින් කපූරු බෝල සුවඳ විහිදෙයි. එය අගය කිරීමක් වශයෙන් මම ඉන් එකක් ඇඟට තබා බැලුවෙමි. ඇය පරණ ඇඳුම ඉවත් කර අලුත් ඇඳුමින් සැරසුණාය. “මම ලස්සන සාක්‍ෂිකාරියෙක් නොවෙයිද? මම මගෙ ගෙත්තම් කළ පටියත් පළඳිනවා. එවිට අනිත් අය ඊර්ෂ්‍යාවෙන් බලාවි. ගමේ මා ගැන කතා වේවි. ගමේ තරුණ ගුරුවරයාගේ විවාහ මංගල්‍යයේ මනාලිය සහ සාක්‍ෂිකාරිය අමතක වෙන එකක් නැහැ. මංගල තෑග්ග හැටියට නළලෙ සුදු පුල්ලි තියෙන බැටලුවා ඔබට ලැබේවි. ඒ සතා ප්ලිවින් වර්ගයේ බැටළුවෙක්. මම දන්නවා ඔබ ගවයන්ට අකමැති බව අපි ඇඳුම් අල්මාරියකුත් ගනිමු”

ගෙහිමි කාන්තාව තවත් තරුණියන් ගැන කියමින් ඉදිරිපත් කළ මංගල යෝජනාවල කෙළවරක් නොවීය. අන්තිමේ මම රැකියාවෙන් ඉවත්ව ආවෙමි.

මේ අතර වාරයේ මම මට නගරයේදී හමවූ තරුණියන් සමග ලිපි හුවමාරු කර ගතිමි. එම ලිපිවල ඇතුළත් වූයේ මාගේම නිර්මාණයි. එක් එක් තරුණිය ගැන වෙන වෙනම නොසිතා මගේ සිහින සිතිවිලි ලියා යැවීමි. මගේ පෙම් හසුන් වැඩ කළ අතර බුලිනා ලිවේඩාහි තරුණියක් ලිපි ගණනාවක්ම එව්වාය. ඇය කෙතරම් ප්‍රීතියට පත්ව සිටියේ ද යත් ඇය මා ගැන ඇගේ දෙමාපිය්නටත් දන්වා ඇත. එහෙත් මා ඇයට ලිවීම නතර කළ විට ඇගේ පියාගෙන් මට ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් ලැබිණ.

“ඔබ මගේ දියණියව අපහසුතාවට පත් කරල තියෙනවා ඔබගෙ ලිපි වලින්” ඔහු ලියා තබුණි. ඔබ ඇයට ලිවීම නතර කළේ ඇයි? ඇයට රාත්‍රියේ නින්දක් නැහැ. ඇය ඔබ එව් ලිපි නැවත නැවතත් කියවනවා. ඇයට ඒවා කටපාඩමින් වුණත් කියන්න පුළුවන්. ඇය සමග විවාහ වෙනවා හැරෙන්න ඔබට වෙනත් විකල්පයක් නැහැ. එහෙම නැත්නම් මම පොලිසියෙ පැමිණිල්ලක් දානවා. අපට සාක්‍ෂි තියෙනවා ඔබ ඇයගෙ ඔලුව නරක් කරල ඇයව අතඇරල දාලා. එවැනි දෙයක් සිදුවෙන්න බැහැ.

ඉන්පසුව මම කිසිදිනක කිසිම තරුණියකට ලිපි නොලීවෙමි.

අනතුරුව මගේ මවගගග මා ගමේ ගිය සෑම අවස්ථාවකම ඇය කතාව ආරම්භ කරන්නේ මගේ විවාහය සම්බන්ධයෙනි.

“ඔබට පෙම්වතියක් නැහැයි කියන එක ඇත්ත වෙන්න බැහැ. ඔබ කෙල්ලක් තෝරා ගත්තෙ නැත්ද? ඔබගෙ මිත්‍රයො විවාහවෙලා දැන් දරුවනුත් හදා වඩා ගන්නවා. ඔබත් තැන්පත් වෙන්න ඕනෙ”

මම උරහිස ගැස්සුවෙමි. කෙදිනක හෝ විවාහ නොවී සිටීමට මට හේතුවක් තිබෙද? මට සොෆියා නගරයේදි මා කැමති කෙල්ලක් මුණ ගැසුණි. දුඹුරු පැහැති සමකින් යුත් ඇගේ ඇස් නිල් පැහැතිය. මෘදු කතා ඇත්තියකි. අපි කිහිප වරක් හමුවීමු. චිත්‍රපටයක් බැලීමටත් ආපන ශාලාවකදි ආහාර ගැනීමටත් ගියෙමු. වරක් මම ඇගේ නිවසට ද ගියෙමි. ඇගේ මව තරුණ වියේදිම වැන්දඹුවක් වූ කාන්තාවකි. මැහුම් ගෙතුම් සහ වෙනත් වැඩ කිරීම මගින් ඇය තම දියණියන් දෙදෙනා හදා වඩාගත්තාය. මගේ පෙම්වතියගේ නම එල්නායි. එහෙත් ඇයට ගෙදරදි කිවේ ලෙනා යනුවෙනි. මම එයට කැමැත්තෙමි. ඇය කාර්යාලයක ගණකාධිකාරිවරියකි. අපේ වෘත්තීන් එකිනෙකට වෙනස්ය. ඇගේ මියගිය පියා ගුරුවරයෙකි. ඔවුන්ගේ පවුලේ අය මා ගෞරවයෙන් පිළිගත්හ. මම නිදහස් විශ්වවිද්‍යාලයේදී සහ ගමේදී ගිණුම් ඉගෙන ගෙන ඇත්තෙමි. යාන්තමින් උගත් අයකැමියන් විසින් සිදු කරන ලද අවුල් සහගත ගිණුම් නිවැරදි කිරීමේ එක්තරා ආකාරයක ගිණුම් තැබීමේ කටයුත්තක ද මම නිරත වී ඇත්තෙමි. ලේනා විවාහය පිළිබඳ මගේ අදහස් වක්‍රව විමසුවාය. ඇය එකඟ වන්නේ නම් විවාහයෙන් බැඳීමක් ඇති කර ගත හැකි බව මම ඇයට කීවෙමි. ඇය මෘදු ලෙස මගේ අත ගෙන සිපගත්තාය. එතෙක් සියල්ල යහපත් ආකාරයෙන් සිදුවිය. අනතුරුව මම අවුලකට පත්වීමි. තවත් තැනැත්තෙකු සමග එකට ජිවත්වන්නේ කෙසේද යන්න මා අවුලකට පත් කළේය. හුදකලාව ගමෙන් ගමට යෑමටත් කඳු නැඟීමටත් ගං ඉවුරු දිගේ ඇවිදිමටත් මම පුරුදුව සිටියෙමි. පෙට්කිනා අපේ ගමේ නිවසේ කුඩා කාමරයට වී පොත් කියවීමට මම හුරුව සිටියෙමි. දැන් මා පටන් ගත යුත්තේ කොතනින්ද? පසුදින උදෑසන මා පාසැලට යා යුතුය. සිකුරාදා හැන්දෑවේ වේලපහින්ම නගරයට යා යුතුය. ප්‍රදේශයේ ගොවීහු සෙනසුරාදා දිනයේ ළමයින් පාසැල් නොඑවති. එදින ගුරුවරයා සාප්පු සවාරියේ යෙදෙන බව ඔවුහු දනිති.

මා ගෙදර ගොස් මවට කිව යුතු බව මම ලේනාට කීවෙමි. මගේ විවාහ වීමේ වෙලාව පැමිණ තිබේ. මම දින කීපයක් නිවසේ ගත කළෙමි. ඒ කාලය තුළ තරුණියට ලිපියක්වත් නොලීවෙමි. ලිපි එවන බවට ඇයට පොරෙන්දු වුවත් මා පොරොන්දු කඩකර ඇත. අප නැවත හමුවූ අවස්ථවේ ඇය ශෝකයෙන් පසුවුවාය.

“ඇයි මේ ගැන අම්මත් එක්ක කතා කරන්න මෙච්චර කාලයක් ගත්තෙ? ඇයි මට වචන කීපයක්වත් ලියල එව්වෙ නැත්තෙ? මම හරිම කනගාටුවෙනුයි හිටියෙ මම හිතුවෙ එයා ගුරුවරයෙක් නිසා එයා අනිත් අයට කරන දේවල් ගැන දන්නෙ නැහැ කියල”

වරදක් කළ අවස්ථාවක දෙමව්පියන්ට මුහුණ දීමට බියෙන් සිටින ළමයකුට මෙන් අසරණ හැඟීමක් මට ඇතිවිය.

ඇයට සත්‍යය පැවසීමට මම උපරිම උත්සාහය ගතිමි.

උදෑසන සිට රාත්‍රිය දක්වා කාන්තාවන් සහ කෙල්ලෝ ඔබ කරන දෙය දෙස බලා සිටිති. පුද්ගලිකව කිසිවක් කීමට අසීරුය. මට තරුණියක හමුවී ඇති බවත් ඇය සමග විවාහවීමට කැමැත්තෙන් සිටින බවත් කීමට කට ඇරීමට සූදානම් වනවාත් සමග සොපියා සහ මර්ෂා නමින් හැඳින්වෙන නැන්දලා පැමිණියහ. සොපියා නැන්දා ගෙත්තම් කළ පටියක් ඉන වටා බැඳගෙන සිටියාය. “ස්ටැන්කා නැන්දා අද මොනවද උයන්නෙ?” මම කීවෙමි. ඔව්හු උයන භාජනය විවෘත කර බැලුහ. එම භාජනයේ බෝංචි සුදානම් කර තිබිණ. මා නින්දට යෑමට ඇඳුම් මාරු කිරීමට යද්දී මගේ මස්සිනා කෙනකු සැන්දෑවේ රාජකාරි අවසන් වී යන ගමන් පැමිණියේය.

“මේක සම්පූර්ණ ඇත්ත වෙන්න බැහැ” ලේනා කිවාය. “ඔබට මෙය අපූරුවට කියන්න තිබුණා. ඉතින් ඔයා අම්මට කිව්වද?”

“ඔව් ඒත් ඒක හරි අමාරුයි” “මගෙ කවුනේ, මගෙ පුතේග මම හිතන දේ ගැන උඹට අදහසක් නැද්ද? මම උඹට අධ්‍යාපනයක් ලබාදුන්නා” ඇය මගේ අතින් ඇල්ලුවායග අනතුරුව ඇය තරුණිය ගැන සියලු විස්තර ඇසුවාය. ඇගේ පවුල, ලේනාගේ මව වැන්දඹුවක්වීම ගැන ඇය සතුටු වූවාය. මන්දයත් මගේ මව දිගු කාලයක සිට වැන්දඹුවක සිටීමයි.

“මේ මගෙ කෙල්ල. ඔබගේ ලේලි”

මගේ මව ඇගේ පරණ මංගල ඇඳුම ඇඳ හිස වටා සුදු ලේන්සුවක් ගැට ගසා ගෙන කෙල්ලක මෙන් නැගිට සිටියාය. ඇය ලේනා දෙස හැම පැත්තනේම පරීක්‍ෂාවෙන් බැලුවාය. අපි කුලී රියක් ගතිමු. ජීවිතයේ ප්‍රථම වරට කුලී රියක ගමන් කරන මගේ මව කිසිවිටෙකත් ලේනා වෙතින් ඇස් ඉවතට නොගත්තාය.

“අම්ම අම්මාගෙ ලේලි ගැන මොකද කියන්නෙ? අම්ම එයාට කැමතිද?”

“හොඳයි ඇය හණ වලින් හදපු එලිච්චියක් වගෙ”

ලේනා ඇස් පහතට හරවා ගත් අතර ඇය හිත් වේදනාවට පත්වූවාය. මවගේ වචනවල ඇත්ත තේරුම ඇය දැන නොසිටියාය. එහෙත් පැහැදිලිවම ඇය මවගේ හඬට අකමැතිය. මව නොසන්සුන් වූ අතර ඇය තමාටම ශාප කරමින් ඇගේ අත් තදින් මිරිකුවාය. මා නිහඬ විය යුතුද? මා දැන් කළ යුත්තේ කුමක්ද?

මෙම දුෂ්කර තත්ත්වයෙන් ගැලවීමට කිසිවක් කළ යුතුව තිබේ. මම අපේ ගමේ කතාවක් ලේනාට කීවෙමි.

“ආදරණිය ආචිච්ගෙ බලු පැටියා” අපේ අසල්වැසි තරුණයකුට ඔහුගේ ඳාතියෙක් කීවේය. “ඔබ දැන් හොඳූ ඉලන්දාරියෙක් අපි ඔබට ගැලපෙන එළිච්චියක් හොයන්න ඕනෙ විවාහ වෙන්න”

“මම ආච්චිගෙ බලුපැටියා නම් ඔහෙ බැල්ලි” තරුණයා එකටෙක කීවේය.

අපේ සාකච්ඡාවේ වැඩියක්ම සඳහන් වූයේ බලුපැටවා සහ එළිච්චිය ගැනයි. (එළිච්චිය යනු සමහර අවස්ථාවල විවාහ වන වයසේ පසුවන තරුණියන් අමතන ආකාරයයි.)

“හණ වලින් හදපු එලිච්චියක් වගෙයි කියල අම්ම කිව්වෙ ඔයා ගොඩක් සුදු නිසා. මගෙ අම්ම අදහස් කළේ ඒකයි”

ලේනා එක්වරම සිනාසෙන්නට වූවාය. මමත් සිනාසුනෙමි. මවගේ දෙතොලේ සිහින් සිනාවක් දක්නට ලැබිණ.

බල්ගේරියානු ලේඛක ක්‍රොවුම් ගිරිගෝරෙව් විසිනි

1909 ජුනි 22 වන දින බල්ගේරියාවේ කතයිසෙන්ටඩිල් දිස්ත්‍රික්කයේ උපත ලැබුවේය. ඔහු ගුරු විද්‍යාලයක පුහුණුව ලැබ අනතුරුව සොෆියා නිදහස් විශ්වවිද්‍යාලයේදී ඉගෙනුම ලැබුවේය. ඔහුගේ නිර්මාණ රුසියන්, උක්රේනියන්, ඉංග්‍රීසි රුමේනියන්, කොරියන්, ඉතාලි, ආරබි, හින්දි සහ තවත් භාෂාවලට පරිවර්තනය වී තිබේ.


https://www.divaina.lk/features/25126?fbclid=IwQ0xDSwMeGqtjbGNrAx4abWV4dG4DYWVtAjExAAEel17xdBoMXtBpQviSFVftx1tfE_lppVkKCibKA1iDkNJXHoi0eHGw2Kjr-0I_aem_71aNe4TxwBSTFMJ0t11u4Q

Nissanka Rajapaksa

unread,
Sep 5, 2025, 12:14:13 AM9/5/25
to INDRAKA group
25
කහ කුරුල්ලා
 
 වියට්නාම් ජාතික Nguyen Quang Sang ලේඛකයාගේ The Golden Bird කෙටිකතාවේ පරිවර්තනය

- පරිවර්තනය; එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ

දොරකඩ අසල අඹ ගසේ ඵලදාව අවසන් විය. ඒ වෙත කුරුල්ලන් පැමිණියේ කලාතුරකිනි. කුඩා දිගැටි කොළවල කෙළවර දිගේ දිවගිය කොළ සහ රතු පණුවන් සුදු පැහැයක් ගත්තේය. ඉඳහිට හමන තද සුළඟින් ගසේ අතු පහතට නැමී ගියේ ය. උන් සේද නූල් අල්ලාගෙන එල්ලී, බිම වැටෙන තුරු සිට, බඩගාගෙන ගියේය.

සුළං හැමීම නතර වූ සැණින් විඩා බරිත වූ අඹ ගස නිසොල්මන් විය. පසුගිය දින කිහිපය තුළ කහ සහ කළු පැහැති පියාපත් සහිත රතු හොටක් ඇති කුරුල්ලෙක් සෑම දිනක ම එතැනට පැමිණියේ ය. දෙපයින් ගහේ සිහින් අත්තක් තදින් අල්ලාගෙන, පහළට එල්ලී දොඹකරයක් සේ බෙල්ල දිගුකර, රතු හොටෙන් පණුවන් අල්ලා ගත්තේ ය. උන් පිරී ඇතිවිට, පියාපත් විහිදා කිචි බිචි ගා හඬ නගමින් ගස වටා පියඹා ගියේය.

ඒ දසුන කෙතරම් සුන්දර හා ප්‍රසන්න ද යන්න නිවසේ සිට හිස පොවා ක්වෑන් බලා සිටියේය. ඔහු කුරුල්ලාට බොහෝ ආදරය කළේ ය! කුරුල්ලා කූඩු කර, ඇතිදැඩි කළහොත්, වරින් වර හඬ නගමින් එහා මෙහා පනිමින් සිටින ආකාරය ක්වෑන් සිහින මැව්වේ ය. ඒ ගැන සිතමින් ක්වෑන් කොතරම් සතුටු වූවාද කිවහොත් දොරකඩ වාඩිවී සිටියදීම ඔහුගේ දෑස පිය වුණි.

තම මවට ඌ අල්ලා දෙන ලෙස පැවසූ ඔහු, කෑම කන අතරතුරදී කුරුල්ලා ගැන සිතා තම කෑම බඳුන සහ චොප්ස්ටික්ස් ඉවතට වීසිකරදමා අඬමින්, කහ කුරුල්ලා අල්ලා ගැනීමට අත දිගු කළේය. ඔහුට තවදුරටත් ලී අශ්වයන්, මෝටර් රථ හෝ සබ්මැරීන සමග සෙල්ලම් කිරීමට අවශ්‍ය නොවීය. අවදි වූ විට ඔහුට නැවතත් කහ කුරුල්ලා සිහිපත් විය.

දස හැවිරිදි ක්වෑන් ඉඩම් හිමි ගම් ප්‍රධානියකුගේ පුතෙකි. මේ පවුලේ මී හරක් බලා ගන්නා ගොපළු දැරිය වූ දොළොස් හැවිරිදි බාඕ, ස්වාමිදුවගේ පුතා සැනසීමට ක්‍රමයක් සොයා ගැනීමට උත්සාහ කළා ය. කුරුල්ලා අල්ලා දෙන්නට බැරි වුවහොත් ඇයට නිවසින් කෑම නොලැබෙනු ඇත. බාඕ කහ කුරුල්ලා කෙරෙහි වෛර කළාය. ඌට ගල් ගසා, පිහාටු කඩා දමන්නට පවා ඇයට සිතුණි. මීට වසර දෙකකට පෙර, බාඕගේ මව ගම් ප්‍රධානියාට වී මලු දෙකක් ණයවී තිබුණි. ඒ වෙනුවෙන් බාඕට මෙම නිවසට පැමිණ සේවය කරන ලෙස ස්වාමිදුව ඉල්ලා සිටියා ය. එහෙත් ඒ ණය, කහ කුරුල්ලාට තිබූ ණය තරම් විශාල නොවීය. ඒ ණය ඉල්ලා සිටි අවස්ථාවේ බාඕට ගුටි බැට කෑමට ද සිදුවිය.

බාඕ කොතරම් බියට පත් වූවාද කිවහොත් කුරුල්ලා අල්ලා ගැනීමට ඈ දිනපතා බලා සිටියා ය. කහ කුරුල්ලා බාඕ සිතනවාට වඩා හාත්පසින්ම වෙනස් වූයේ ය. ඇය, ඌ අල්ලා ගන්නේ කෙසේද? පියාපත් විදාහල විගසම ඌ ඉහළට නැගී ඉගිළී ගියේ ය. සමහර අවස්ථාවක දී ඌ බාඕගේ මුහුණට පවා මළපහ කළේ ය. එදින සවස බාඕ නිවසට පැමිණි අතර ක්වෑන් කුරුල්ලා ඉල්ලා සිටියේ ය. බාඕ සෙල්ලම් බඩු පිරවූ කේතු හැඩයේ ඉරීගිය තොප්පියක් ඔහු ඉදිරිපිට තැබුවාය. ඇයගේ හඬ පහත් කර අයැද සිටියේ;

“මෙන්න මී හරක්, මී දෙන්නු, තරුණ මී හරක්, පොඩි මී වැස්සියන්, හොඳට පදම්කළ මැටිවලින් මම හැදුවේ. මම ගඟ යටට කිමිදිලා මැටි හාරලා අරගෙන හැදුවේ. මෙන්න අර ගන්න. සෙල්ලම් කරන්න. බිඳුන භාජනයක කටේ අතුල්ලලා මම උන්ගේ අං මුවහත් කළා. මේ මී හරකා කහ කුරුල්ලාට වඩා හොඳයි.”

ක්වෑන් ඔහුගේ මව විසින් සුරතල් කරනු ලැබීමට පුරුදුව සිටියේ ය. යමකින් සෑහීමකට පත් නොවුණොත් ඔහු උඩ පැන්නේ ය. ඔහු මැටි මී හරකුන්ට පයින් ගසා මහ හඬින් හැඬුවේ ය. එහෙත් කඳුළු ගලා ආවේ නැත. බාඕ නොහැඬූ නමුත් ඇයගේ දෙනෙතින් කඳුළු ගලා ගියේ ය. බාඕ කෝපයෙන්, බියෙන් හා පසුතැවිල්ලෙන් බලා සිට, සෑම මැටි කැබැල්ලක්ම එකතු කරගෙන පරිස්සමින් ඒ කැබලි එකලස් කළාය.

ක්වෑන් තවදුරටත් අඬමින් සිටියේ ය. ඔහු ඉදිරියට පැන, පස් කැට අහුලා බාඕගේ මුහුණට දමා ගැසුවේය. පසුව ආලින්දයේ පෙරළි පෙරළී, ඇයගේ පාද පාගාගෙන කෑගැසුවේය.

“මට කහ කුරුල්ලා අල්ලා දෙන්න අම්මේ!”

තම දරුවා කවුරුන් හෝ මරා දැමුවාක් මෙන් කෝපයට පත්වූ ක්වෑන්ගේ මව ඒ අසලට දිවආවා ය. ඇය මී හරකා සහ බාඕගේ ඉරුණ තොප්පිය මිදුලට විසිකිරීමට පෙර බාඕ දෙසට හැරී ඇයව සමච්චලයට ලක් කළේ;

“උඹ මගේ පුතාට වඩා දක්ෂයි කියලද හිතාගෙන ඉන්නෙ? උඹ මගේ ගෙදරට පස් ගෙනාවෙ මොනවටද? මගේ ගෙදර පස් අඩුවක් නැහැ. උඹේ තාත්තාගේ සොහොන කඩා වැටෙනවා. ඕවා ගෙදර ගෙනිහින් ඒක හදාපන්!”

පුතා සතුටු කිරීම සඳහා, ඈ බාඕට සමීපවී, බිමට පහර දී පසුව ක්වෑන්ගේ දෑතින් අල්ලා ගත්තාය;

“හ්ම්! කහ කුරුල්ලෙක් එක්ක සෙල්ලම් කරන්න විදිහක් නැතිව මගේ දරුවා අසරණ වෙලා!”

රාත්‍රියේදී, බාඕට නිදාගැනීමට නොහැකි විය. කඩුල්ල අසල සැහැල්ලු ගායනයක් ඇසුණි:

“අවු ඕ කුරුල්ලෝ අත්තෙන් අත්තට කිචි බිචි ගාලා පියඹනවා…,

දරුවා අසනීපෙන් කොඳුරනවා…”

බාඕ අවදිවන තුරු ගීතයට සවන් දෙමින්, ක්වෑන් මෙට්ටය මත වැතිරී කෑගැසුවේ; “මට කුරුල්ලා අල්ලා දෙන්න, අම්මේ!”

ක්වෑන් අඬන බව බාඕට ඇසුණු අතර හෙට කහ කුරුල්ලකු නොපැමිණෙනු ඇතැයි කනස්සල්ලට පත්වූවා ය. බාඕ වාඩි වී, මී හරක් කොටුවට හේත්තුවී, විශාල අහස දෙස බලා සිටියා ය. සඳ දීප්තියෙන් බබළයි. බාඕ අඹ ගස දෙස බැලුවා ය. නිදා සිටින කුරුලු රංචුවක් මෙන් කොළ සෙමෙන් සෙලවුණි… බාඕ කසළ ටිකක් අහුලා එය ඉහළට විසි කළාය.

මාළු පොකුණට කුණු වැටුණි. කහ කුරුල්ලා එතැන නිදාගෙන සිටියේ නැත. ඌ කොහේද? අඹ ගස මුල වාඩිවී, පොල් කටුවක් මෙන් වියැළී ගිය තම හිස පිරිමදිමින් ඈ කල්පනා කළාය. අන්තිමේදී, බාඕ ක්‍රමයක් සොයා ගත්තා ය. මී හරක් පට්ටි බලන අතරතුර, දෙබලක් සහිත පේර අත්තක් කැපූ බාඕ, එයට රබර් පටියක් බැඳ, එය පසුපසට ඇද, ඉදිරියට යන්නට ඉඩ දී ගලක් විද්දා ය. බාඕ ගල් කැට දහයක් පමණ විද බැලුවා ය. හරි, මම අනිවාර්යයෙන්ම කහ කුරුල්ලට විදිනවා, ඈ සිතුවා ය.

ණය ගෙවා ගන්නට විශාල මුදලක් ලැබුණු ගොවියකු මෙන් සතුටින් බාඕ ගේ තුළට ගියා ය.

“මගේ කහ කුරුල්ලා කොහෙද?” ක්වෑන් විමසා සිටියේ ය.

“මෙන්න කැටපෝලය. ඔයාට පේන්න කොළයක් වගේ වැටෙන්න මං ඌට ගලක් විදිනවා.”

එකෙනෙහිම ක්වෑන් ගේ මුහුණ රත් පැහැයට හැරුණි.

“ඔයා ඌට ගලක් විද්දේ නැත්නම්, මම ඔයාව මරනවා.”

එය ඇසූ බාඕ ඔහුගේ මවට ඊට මැදිහත් වන ලෙස කන්නලව් කිරීමට අදහස් කළා ය.

“මගේ පුතා සෙල්ලම් කරන්නේ ඇත්ත කුරුල්ලන් එක්ක. කුරුල්ලන්ට ගල්විදලා මරන්නෙ ඇයි?”

බාඕ මෙසේ පිළිතුරු දුන්නා ය.

“ඌට පියාපත් තියෙනවා. ගල් විද්දේ නැතිනම් ඌව අල්ල ගන්නේ කොහොමද?”

ක්වෑන්ගේ මව කෝපයෙන් ඉදිරියට දිව ගියා ය.

“මම උඹට ගල් විදින්න තහනම් කරන්නෙ නැහැ. මගේ පුතාගේ කුරුල්ලා මරන්නෙ නැතිව, තටු කඩන්නෙ නැතිව උඹට ඕනෑ තරම් ගල් විදින්න පුළුවන්.”

“ඌට ගල් විදින්නේ නැතිනම්, ඌ අල්ලා ගන්නේ කොහොමද?”

මෙහෙකාරියගේ ප්‍රශ්නයෙන් ඈ කෝපයට පත් වූවා ය.

“ඌට ගල් විදින්න… ඌට තුවාල වෙලා බිමට වැටෙනවා නේද?”

බාඕගේ හිස පහත් වූ අතර ඈ අඩියක් පසුපසට ගත්තා ය. ක්වෑන් සහ ඔහුගේ මව දෙස බැලූ අවස්ථාවේ බාඕගේ තොල් ඇඹරී ගියේ ය. ඇයගේ දෑත් වෙව්ලූ අතර ඈ තම කමිසයේ වාටිය තදින් අල්ලා ගත්තාය. බාඕ කෝපයෙන් සිටි අතර, ඈ සේවිකාවක බව අමතක කර, රබර් පටිය ක්වෑන්ගේ මව ඉදිරිපිටදී වීසි කර දමා තර්ක කරමින්;

“හොඳයි, ඔයා ගල් විදින්න!”

ඔහු සැරයටිය පද්දා බාඕගේ පසුපසට වේගයෙන් විසි කළේය.

සැණින් කෝපයට පත් වූ ඈ ඊට විරුද්ධ වී පසුව බිය වූවා ය. බාඕ ක්වෑන් වෙත හැරී;;

“අද මම ස්ථිරවම ඔයාට කහ කුරුල්ලා අල්ලලා දෙනවා.”

ක්වෑන් ඔහුගේ හිස එසවූයේ ය. ඔහුගේ දෑස බැබලුණි. බාඕ තදින් බදාගෙන ඔහු මෙසේ අසා සිටියේය.

“කවද ද?”

බාඕ උණ දණ්ඩක් ඔහුට පෙන්වා සිටියාය.

“මෙන්න, ඔයාට උගුලක්. මට කෙසෙල් ගෙඩියක් දෙන්න!”

ක්වෑන් එක්වරම උඩ පැන කෙලින්ම පලතුරු ගේන්නට කාමරයට දුව ගියේ ය.

ඔහු බාඕට ඉදුණු කෙසෙල් ගෙඩි දෙකක් දිගු කරමින් දෑස ලොකුකර සිනාසුණේය. පළමුවතාවට ඔහු ඇය අසල හිස නැමුවේ බාඕ කෙසෙල් ගෙඩිය උගුලේ බඳින අයුරු බලා සිටීමට ය. මොහොතක් කල්පනා කළ ඔහු ආපසු හැරී හිස වනා;

“කුරුල්ලො කෙසෙල් කන්නේ නැහැනේ!” යැයි කීවේ ය.

“ඒක කනවා, මිනිහෝ! ඌ පණු කුරුල්ලෙක් නෙවෙයි. සිංදු කියන කුරුල්ලෙක්. මේ කුරුල්ලා පණුවො වගේම කෙසෙල් ගෙඩිත් කනවා. මම මී හරක් දිහා බලාගෙන ඉන්න වෙලාවක ඌ හැමදාම කෙසෙල් පඳුරු අතරට රිංගනවා දැක්කා.”

ක්වෑන්ගේ මවගේ සෙවනැල්ල ඈ දෙසට වැටුණි. ඈ කෙසෙල් ගෙඩි දෙක දෙස බලා කෑගැසුවා ය.

“උඹ මගේ පුතාව රවට්ටලා කෙසෙල් හොරකම් කළාද?”

ඈ පියවර කිහිපයක් පසුපසට ගොස් බිත්තියට හේත්තු වී සිහින් හඬින් මෙසේ පැවසුවාය.

“ඔව්. මට කුරුලු ඇමකට ඉදුණු කෙසෙල් ගෙඩියක් දෙන්න.”

“මම දෙවියන්ට පූජා කරන්න සල්ලිවලට ගෙනා කෙසෙල්. කුරුල්ලන්ට දෙන්න කෙසෙල් නැහැ. උඹ ගහට නැගලා ඌව අල්ලා දීපන්.”

ක්වෑන්ගේ මව කෑගසමින් ගස දෙස බැලුවාය. බාඕ උගුල විසිකර පැන දිව්වා ය.

වෙනත් විකල්පයක් නොමැතිව, බාඕ තමා වටා කොළඅතු ඔතාගෙන උදේ පාන්දරින්ම අසල වූ අඹ ගහට නැග ලොකු දෙබලක අත්තකට හේත්තු වූවා ය. ගසේ කුඩා අතු පහතට නැමී තිබුණි. ක්වෑන් බිම සිට කෑගැසුවේ ය.

“අත්තේ කෙළවරට යන්න.” බාඕ වෙව්ලන්නට වූවා ය. ඇයගේ කකුල් ලිස්සන බවක් දැනුණි. බිම බැලීමෙන් ඇයට කරකැවිල්ල ඇති විය. අහස උස විය. කළු තිතක් ඈ සිටි දෙසට පියාසර කළේය. පැහැදිලිවම කහ කුරුල්ලෙකි. ඌ කිහිපවතාවක් රවුම් ගැසී ය. ඉන්පසු පියාපත් විහිදා එක්වර ම කලබලවී ඉහළට නැගුණි.

මව සහ දරුවා නිවස තුළට දිව ගොස් හිස පොවා බලා සිටිය හ.

“හෙලවෙන්න එපා!”

ක්වෑන්ගේ මව කහ පැහැති ශරීරයක් සහ රතු හොටක් ඇති කුරුල්ලා දෙස ඇසිපිය නොහෙළා බලාගෙන සිටියාය.

“ළමයෝ! හුස්ම අල්ලාගෙන සන්සුන් වන්න. තව උත්සාහ කරන්න, ළඟට යන්න.”

බාඕ ඉදිරියට බඩගෑවා ය. බාඕ ඇයගේ අත දිගු කළ සැණින් කුරුල්ලා වෙනත් අත්තකට පියෑඹුවේ ය. ක්වෑන් උද්යෝගයෙන් කෑගැසී ය;

“ඌ අල්ල ගන්න, අල්ල ගන්න!”

“අතන, අතන! ඌ අතනට ගියා. අල්ලගන්න, අල්ලගන්න!”

එහි ශබ්දය ඇසූ බාඕ, පෙර දින පහර කෑමෙන් වූ තුවාලයකින් ලේ වැගිරෙනු දුටුවා ය. ඕ දත්මිටි කාගෙන, සෙමෙන් අත දිගු කර, නැගිට, කහ කුරුල්ලා අල්ලගත්තා ය. කුරුල්ලා කිචිබිචි ගෑවේ ය. මව සහ පුතා මහත් සතුටට පත් වූ අතර, ක්වෑන් උඩ පැන්නේ ය.

“කුරුල්ලා ඇල්ලුවා!”

ක්වෑන් අත්පුඩි ගැසුවේ ය. බාඕට දැනුනේ මී හරක් එලවගෙන ඇවිත් වළක වැටෙන අයුරකි. ඇයගේ බඩේ කෑම උගුරට පැමිණියේය. කකුල් වාතයට විහිද ගියේය. ඇයගේ දෑත් දෙපසට විහිදුණි. මුහුණ අඳුරු විය. ඇයගේ මුහුණ ගසේ කඳේ වැදී, මුහුණ පුරා ලේ සහ කඳුළු වැගිරුණි.

“අනේ… මගේ දෙවියනේ! කහ කුරුල්ලා බිමට වැටුණා. උගේ ඔළුව කැඩිලා.” අඩසිහියෙන් සිටි බාඕට ක්වෑන් සහ ඔහුගේ මව අඬන ශබ්දය යාන්තමට ඇසුණි.

“අනේ දෙවියනේ!”

බාඕ දෑතට වාරුදී හැරී සිටියාය. ඇයගේ හිසෙන් ගලා ආ රුධිරය සිරුරට යටවූ කොළ දිගේ ගලා ගියේය. බාඕ සිය මුළු ශක්තියම යොදවා නැගිටීමට උත්සාහ කළ නමුත් ඇයගේ දෑත් කඩා වැටුණු අතර හිසෙන් ලේ ගලා ගියේ ය.

ක්වෑන්ගේ මවගේ අත පහළට එනු දුටු බාඕගේ දෑස් දිලිසෙන්නට විය. බාඕ අත දිගු කළාය. තවත් දිගු කළාය. නමුත් ඇයට කිසිවෙකු වෙත ළඟාවීමට නොහැකි විය. ක්වෑන් ගේ මව කහ කුරුල්ලාගේ සිරුර ඔසවන්නට අත දිගු කරන බව පෙනී ගියේය. බාඕට නැවතත් කටහඬ ඇසුණි;

“අනේ දෙවියනේ! මගේ පුතාගේ කහ කුරුල්ලා මැරිලා!”


Nissanka Rajapaksa

unread,
Sep 12, 2025, 4:30:58 AM9/12/25
to INDRAKA group
26
 ෆූචීක් පාරේ ගුරුතුමා

- මුතුමුදලිගේ නිශ්ශංක 

හොවික්ට ජීවීතෙම එපාවුනු දවසක් ආවා..ඔහු සියදිවි නසා ගන්නට තීරනය කලා.

එහෙත් ඊට කලින් ඔහු මුනගැසිය යුතු කෙනෙකු ඉන්නවා..ඒ තමයි ෆූචීක් පාරේ ගුරුතුමා. හොවික් ඉපදිලා මාස කිහිපයක් යන්නත් කලින් හොවික්ගේ තාත්තා මැරුනා, ඊට පස්සේ හොවික්ට හිටියේ අම්මා විතරයි.

හොවික්ට ඉගැන්වුයේ කන්න බොන්න නවාතැන් පවා දුන්නේ ෆූචික් පාරේ ජීවත් වුනු මේ ගුරුතුමා. කොටින්ම හොවික් පුංචි කාලයේ හැදුනේ වැඩුනේ මේ ගුරුතුමා ගාව.

ඉතින් හොවික් ගියා ෆූචීක් පාරේ ගුරුතුමාව මුණ ගැහෙන්න. 

ගුරුතුමාට වැදනමස් කාර කරපු හොවික් ගුරුතුමා මෙතෙක් කල් ඔහුට කරපු කියපු හැමදේටම ස්තූති කලා. ඒ හැමදේටම ඔහුට පිංදුන්නා. එහෙත් සියදිවි නසා ගන්න යන විත්තිය ඔහු ගුරුතුමාට කිව්වේ නැහැ. කිව්වේ නැති වුනත් ගුරුතුමාට ඒක ඉවෙන් වගේ දැනුනා.

හොවික් යන්නට සූදානම්ව ගුරුතුමාට ආචාර කරද්දී ඔහුගේ උරහිසට අත තබා ඔහුව මදක් නවතා ගත් ගුරුතුමා ඔහුට මෙසේ කිව්වා.

" ඔබ සියදිවි නසාගන්න යනවා... ඒක මම දන්නවා... එහෙත් ඊට කලින් මට ඔබෙන් ඉල්ලීමක් තියෙනවා කරන්න " 

හොවික්ගේ මුහුන මැලවිලා ගියා.

" කියන්න ගුරුතුමනි.. " ඔහු කිව්වා.

" මෙතන ඉදන් කිලෝ මීටරයක් විතර ගියාම හමුවෙනවා අජප්නයාක් කියන ගම. ඒ ගමේ ඉන්නවා රූබෙන් කියන තරුනයෙක් එයාව ගිහින් මුන ගැහෙන්න... එයාව මුනගැහුනට පස්සේ යන්න එතනම තියෙන දාවිත්ෂාන් කියන ගමට, ඒ ගමේ ඉන්නවා සෙත්‍රාක් කියන ලී බඩු හදන්නෙක්... මේ දෙන්නව මුන ගැසුනට පස්සේ ඔබට හැකියි සියදිවි නසාගන්න"

හොවික් ගුරුතුමාට ආචාර කර ගමන යන්නට පිටත් වුනා.

අජප්නයාක් කියන ගමට ගිය ඔහු කිහිප දෙනෙකුගෙන්ම රූබෙන් ගැන ඇහැව්වා. එහෙත් කවුරුවත් ඒ නම කන් දෙකට ඇහෙනවටවත් කැමති වුනේ නැහැ.එහෙත් එක් ගැමියෙක් හොවික්ට වීදිය කොනේ තිබුනු රූබෙන්ගේ නිවස පෙන්නුවා.

හොවික් ඒ පැල්පතට ගියා. ඒ පැල්පතේ තිබුනු දිරා ගිය ඇදක හොදටම කෘෂ වෙලා ගිය මැහැල්ලක් වැතිරගෙන හිටියා. යාන්තමින් ඇස් දෙක හැරලා රූබෙන් දිහා බලපු ඇය ආයෙත් ඇස්දෙක වසා ගත්තා. ඇය ඒ තරමටම වැහැරිලා හිටියේ. හොවික් වටපිට බැලුවා. නිවසේ වටපිටේ කවුරුවත්ම නැහැ.

" ගුරුතුමා මොකටද මාව මේ මැහැල්ල ලගට එව්වේ..ගුරුතුමාට වැරදිලා ඇති " සිතපු හෝවික් යන්නට පිටත් වුනා..

එහෙම යන අතර තුර ඔහුට මුන ගැසුනු තවත් ගැමියෙකුගෙන් ඔහු රූබෙන් ගැන ඇහැව්වා. 

" අපෝ ඕකද .... ඕකා මහා තිරිසනෙක්. ඌගේ අම්මා ඌව දහදුක් විදලා ලොකු මහත් කලා.මේ කාලකන්නීයා කෙල්ලෙක් හින්දා සිය දිවි නසා ගත්තා.දැන අර අම්මා මැරෙන ගානට වැටිලා. ඒ මනුස්සයව බලාගන්න කවුරුවත්ම නැහැ.රූබෙන් විතරයි ඒ අම්මට හිටියේ. ඌ පිස්සෙක් වගේ ඒ අම්ම ගැනවත් හිතන්නේ නැතිව බෙල්ල වැල දාගත්තා...තිරිසනා." 

කියපු ගැමියා යන්නට ගියා..

හොවික්ට ගුරුතුමා ඔහුව රූබෙන්ව බලන්නට එවපු කාරනය වැටවුනා.

ඔහු ඊලගට ගියා දාවිත්ෂාන් කියන ගමට. සෙත්‍රාක් කියන්නේ ඒ ගමේ ජනප්‍රිය වඩුවෙක්. ගමේ හැමෝම වගේ සෙත්‍රාක් ගැන දැනගෙන හිටියා. ඔහු ගියා සෙත්‍රාක්ගේ ලී මඩුවට...සෙත්‍රාක් ව දැක්ක ගමන් හෝවික් පුදුමයට පත් වුනා. සෙත්‍රාක්ට අත් දෙකම නැහැ. ඔහු සේරම වඩු වැඩ කරන්නේ කකුල් දෙකෙන්. 

" ෆූචීක් වල ගුරුතුමා මාව එව්වේ" 

ඔහු සෙත්‍රාක්ට කිව්වා. 

සෙත්‍රාක් ඔහුව බොහොම ගරු සරු ඇතුව පිලිගත්තා..

" ෆූචික් වල ගුරුතුමා තමයි මට ජීවත් වෙන්න කියලා දුන්නේ. අනතුරකින් මගේ අත්දෙකම නැතිවෙච්ච වෙලේ මම මැරෙන්න තීරනය කලා. එහෙත් ගුරුතුමා මගේ හිත හැදුවා.ඊට පස්සේ මම මේ ලී මඩුව දාගත්තා.. අද මම මේ මුලු ගමේම ගොඩක් ජනප්‍රිය වඩුවෙක්..මිනිස්සු මට ආදරෙයි...මට බොහෝම ගරු කරනවා. ගමේ මොනම දෙයක් තිබුනත් මුලින්ම කතා කරන්නේ මට”  ඔහු හොවික්ට කිව්වා.

හොවික් ගුරුතුමා ඔහුව සෙත්‍රාක් ලගට එවපු කාරනයත් වටහාගත්තා.

හොවික් සියදිවි නසා ගත්තේ නැහැ.

ඔහු ආයෙත් ගියා ෆූචික් පාරේ ගුරුතුමාව මුන ගැහෙන්න.

හොවික්ව දැකපු ගුරුතුමා ඔහුගෙන් මෙහෙම ඇහුවා..

" ඔබ කාවද තෝරගන්නේ... රූබෙන්වද සෙත්‍රාක්වද " 

හොවික්ට කට උත්තර නැතිව ගියා, කිසිවක් නොකියම තමන් දිහා බලාගෙන ඉන්න හොවික්ව දැකපු ගුරුතුමා මෙහෙම කිව්වා

"යන්න දරුවා, ගිහින් අම්මවත්  බලාගෙන ජීවත්වෙන්න “


Nissanka Rajapaksa

unread,
Oct 4, 2025, 9:12:46 PM10/4/25
to INDRAKA group
27
ආගන්තුකයා

- නාලනී තෙන්නකෝන් 

තොරතෝංචියක් නැතිව ඇසුණු නිශාචර රැහැයියන්ගේ නාදයද නතර වී ඇත. තොරතුරු සොයන්නකු මෙන් කණාමැදිරියෙක් එළිය විහිදුවමින් ඒ මේ අත පියාඹයි. අන්ධකාර රාත්‍රියේ නිහැඬියාව බිඳිමින් බිත්ති ඔරලෝසුව එක් වරක් පමණක් නාද විය. එහි දෝංකාරයද නතර වූ පසු ඉඳහිට ඇසුණේ යමක් ගැටීමෙන් නිකුත් වන සුළු හඬක් පමණි.

ඇය කණ්ණාඩි මේසය අසල පුටුවක බිත්තියට මුහුණ ලා වාඩි වී සිටියාය. පිටුපස සිට එදෙස බලන්නකුට දිස් වූයේ පුටු බිතට පිට දී වාඩි වී සිටි ඇයගේ සුදු කෙස් සහිත හිසෙහි පිටුපස දසුනය.

ඇයගේ දෑත් සහ දෙපා රෙදිපටිවලින් බැඳී ඇත. නෑයකුද හිතවතෙකුද උරුමකරුවකුද නොවූ නාඳුනන ආගන්තුකයා ඇය නිදියහනෙන් අවදි කරවා මෙතැනට ගෙන ආවේ විදුලි පන්දමෙහි මලානික එළියෙනි. බන්ධනයෙන් පසු ඔහු විදුලි පහන දල්වා කාර්යයේ නියුතු විය. කණ්ණාඩි මේසයේ සමීපතාව ඔහු නොදුටුවා විය හැකියැයි ඇයට හැඟිණි. ඕ නිහඬව, කිසිදු දැඟලීමකින් හෝ ආයාචනයකින් හෝ හඬ නඟා කෑගැසීමකින් තොරව ඔහුගේ හැසිරීම කණ්ණාඩියෙන් නෙත ගැටෙන දසුන් තුළින් නරඹන්නට විය.

අමුත්තා ගෙය පුරා සැරි සරා, බොහෝ දෑ තක්සේරු කරමින් ලොකු බෑගයට දැමුවේ වටිනා භාණ්ඩ තෝරා බේරා ගනිමිනි. ඉලෙක්ට්‍රානික භාණ්ඩ, පිත්තල බඩු මෙන්ම අලෙවි වටිනාකම් සහිත බොහෝ දෑ එහි තැන්පත් විය. බෑගය ඔසවා බලා පසෙකින් තැබූ ඔහු අනතුරුව ඇයගේ පිටුපසින් සිටගත්තේය.

“කෝ යකඩ අල්මාරියේ යතුර?”

ඔහු විමසුවේ මවාගත් ගොරහැඩි හඬකින් ඇය බියවද්දන අයුරිනි.

ඕ නිහඬව කණ්ණාඩි මේසයෙහි ලාච්චුව ඇති දෙසට හිස හරවා යතුර ඇති ඉසවුව සන් කළාය. ඔහු ලාච්චුව විවර කර යතුරු කැරැල්ල අතට ගත්තේ, “උඹ ගොළු වෙලාද? පිටට ඇහෙන්න නැති වෙන්න හෙමින් කතා කරපන්!” යනුවෙන් නියෝගයක්ද දෙමිනි.

හේ අල්මාරිය විවර කළේ, ටික වේලාවක් ගත කර, ආයාසයෙන් නියමිත යතුර තෝරාගැනීමෙන් පසුවය.

“උඹේ පුතා රට ඉඳල සල්ලි එවනවා නේද? කෝ ඒවා?”

ඕ කිසිවක් නොදෙඩුවාය.

“ඇයි ගෑනියෙ කෑගහන්නෙ නැත්තේ! උඹ ගොළු වෙලාද?” ඇය දෙස නොබලාම හේ විමසීය.

නන්නාඳුනන ආගන්තුකයා අල්මාරියෙහි රෙදි ඒ මේ අත විසුරුවමින් මුදල් සොයන්න විය. අතට හසු වූ බෑගය විවර කළද එහි මුදල් නොතිබූ බැවින් එය පසෙකට විසි කළේ, තරහින් පිපිරෙමිනි.

එහි ඇතුළත යතුරු දමා තිබූ ලාච්චුව ඔහුගේ නෙත ගැටිණි. කැරැල්ලෙහි සමාන ස්වරූපයේ යතුරු කිහිපයක්ම තිබුණු නිසා නියමිත යතුර තෝරාගන්නට සැලකිය යුතු වේලාවක් ගත විය.

ඔහුගේ ඇඟ දහඩියෙන් තෙත් වී කමිසය ඇඟට ඇලී තිබුණු බැවින්, කමිසයද මුව ආවරණයද ගලවා බඩු දැමූ බෑගයටම එබුවේය. දැන් කණ්ණාඩියෙන් දර්ශනය වන අමුත්තාගේ හැඩරුව ඇයට මැනවින් දිස් වෙයි. ඇය ඔහු දෙස බලා සිටියේ දැහැනකට සමවැදුණු ලෙසිනි. ඇසිපිය නොහෙළා බලා සිටින ඇයට තරහ සහ නොමනාප චිත්තවේග අතික්‍රමණය කරමින් තාරුණ්‍යයේ ජීවිත අඳෝනාව දැනෙන්න විය.

ආගන්තුකයා ලාච්චුව පිටතට ගෙන රන් ආභරණ මංජුසාව විදුලි ආලෝකයට හසු කරමින් ඒවා තෝරන්න විය. ඇයගේ දිගු රන් මාලය සැමියා විසින් ගෙල පැලඳවූවකි. ඇයට සංවේගයක් ඇති වූයේ, මාලය පිළිබඳ නොව මියගිය සෙනෙහෙවන්තයා සිහි වීමෙනි. භාණ්ඩ රෙදි කඩක දවටාගත් ඔහු දැන් සෑහීමකට පත් වූවා සේය.

මේ කටයුතු අවසන් කළ අමුත්තා ආපසු යෑමට සූදානම්ය. ගමන් මල්ල පිරී ඇත. එය දොර අසල තැබූ හේ යතුරු කැරැල්ල කණ්ණාඩි මේසය මතට විසි කළේය. හඬක් නංවා එය බිමට වැටිණි.

“ඔන්න මං ගියා… මං ඔහේට කිසිම කරදරයක් කළේ නෑ… හැබැයි පොලීසියට කිවුවොත් හෙට රෑට… ඩිෂුම් ඩිෂුම්!” කියමින් බෑගය අතට ගත් ඔහු දොර පියන විවර කරන්නට සැරසිණි.

“පියරත්න… මෙහෙ වරෙං… මේ ගැට ලිහල දාල පලයං…”

ඇයගේ අණ කිරීමෙන් ආගන්තුකයා අන්ද මන්ද විය. නොදැනීම මෙන් ඔහුගේ අතින් බෑගය බිම තැබිණි.

“උඹ කොහොමද මගේ නම දන්නේ…?”

“වරෙං කියා දෙන්න…”

ඔහු ඇය ඉදිරියට ගොස්, දෑත්වල ගැට ලිහන්නට සූදානම් විය.

“අනේ දෙයියනේ… මේ… මේ… මේ… සේපාලි ටීචර් නේද? අනේ, මැඩම්…” හේ කතා කළේ වෙවුලන හඬකිනි. “මැඩම් මෙහේ ඉන්න විත්තිය මං දන්නෙ නෑ…”

“අහගනිං… බලාපං උඹේ වැලමිටට උඩින් කැළලක් තියෙනවා… මතකද… හොරෙන් පැනල යන කොට තාප්පෙන් වැටිල ලොකු තුවාලයක් වුණා. මදාවියා ඉස්පිරිතාලෙට ගෙනියන්න කවුරුත් ආවෙ නෑ… මං උඹව අරං ගියා… තවත් ලේ ගැලුවනං පිටගැස්ම හැදිලා මැරෙනවා… කියලා දොස්තර කීවා…”

“අනේ බුදු මැඩම්, මෙන්න වැන්දා… මට සමා වෙන්න මැඩම්, ඒ සේරම මතකයි…”

“නෑ… උඹ මගෙන් නෙවෙයි… මං උඹෙන් සමාව ඉල්ලනවා. උඹ මිනිහෙක් කරන්න බැරි වුණාට…”

“අනේ මැඩම්, මට සමා වෙන්න…”

ඔහු දෙපා ළඟ වැටී වැඳගෙන සිටියේය.

“නැඟිටපං… දැන් පලයං…”

තව දුරටත් නාඳුනන පුද්ගලයකු නොවූ පියරත්න නැඟිට බඩු මලු යළි පෙර තිබූ තැන්වල අසුරන්න සැරසිණි.

“ඇයි…?” ඇය විමසුවේ තරමක් සැඩ පරුෂ හඬකිනි.

“මට මේවා ගෙනියන්න බෑ මැඩම්…”

“පියරත්න, මං පොලීසියට කියන්න කලින් ඕවත් අරගෙන මෙතනිං පලයන්! හැබැයි උඹ ආයෙමත් ඔය රාජකාරිය කරන්නෙ නෑ කියල පොරොන්දු වෙයං… නැත්තං මං පොලීසියට කියල ඒක නවත්තනවා…”

“අනේ මැඩම්, මං කවදාවත්ම ආයෙ නම් මේ වැඩේට බහින්නෙ නෑ…”

හඳුනාගත් ආගන්තුකයා බෑගයද රැගෙන දොර අසලට ගියේ ඇයට පිටු නොපා පසුපසට ඇදෙන ලෙසකිනි.

දින තුනක් ගත වන තුරුද පියරත්නගේ මානසික අසමතුලිතතාව නොවිසඳිණි. බෑගය එදා සැඟවූ තැනමය. ඔහු රහසිගත වෙළෙඳුන් සොයා නොගියේය. කෑමට බීමට පවා කැමැත්තක් නොවීය. පාසල් වියේදී අනෙක් සෑම කෙනකුම පිළිකෙව් කළ තමා කෙරෙහි සේපාලි ගුරුතුමිය දැක්වූ අනුකම්පාව නිසා කිහිප දිනක්ම ඇයගේ ආහාර වේල තමාට දුන් අයුරු ඔහු සිහි කළේ කඳුළු සඟවා ගනිමිනි.

සිව්වැනි දිනයේ පන්සලේ ඝණ්ටා හඬ උදෑසනින්ම ඇසෙන්නට විය. එය විශේෂ ආගමික උත්සවයක සංකේතයක් බව හේ දනියි. බොහෝ වේලාවක් කල්පනාවෙහි ගැලී සිටි ඔහු සූදානම් වී පන්සලට පියනැඟුවේය. පෝලිමට එකතු වූ ඔහු පඩිපෙළක් සේ සකස් කර තිබුණු ඉණිමඟෙන් ඉහළ නැංගේ පැතිරෙන සාධු හඬට එක් වෙමිනි.

පෝලිමෙහි ඊළඟ අවස්ථාව උදා වූයේ පියරත්නටය. ඔහු කලිසමේ සාක්කුවෙන් එළියට ගත් රෙදිකඩෙහි ඔතා තිබූ කුඩා පොදිය දෝතින්ම පපුවට තබා සැනසුම් සුසුමක් හෙළුවේය; අනතුරුව එය නැහැයට ළං කර තදින් සිපගත්තේය. පන්සලේ අලුතින් ඉදි කළ චෛත්‍යයේ ධාතු ගර්භය තුළ කුඩා පොදිය තැන්පත් කළ පියරත්න නළල මත දෑත් තබා වඳින විට දෑස් කෙවෙනි තෙත් කළ කඳුළු පිටතට ගලා ගියේය.

“මේ පින් සේපාලි ටීචර්ට අත් වේවා!”

හදවතෙහි තෙරපෙමින් තිබූ හැඟීම් වාතලයට මුදාහරිමින් ඔහු සෙමෙන් මිමිණුවේය.

Nihal Ananda

unread,
Oct 5, 2025, 3:16:47 AM10/5/25
to ind...@googlegroups.com
ආගන්තුකයා
- නාලනී තෙන්නකෝන් 
..........................................
මෙව්වාට , කෙටි කතා කියන නම නම් ගැලපෙන්නේ නෑ .....! 
සිත නිවන කතා  ...... සුචරිත කතා  , වගේ  කැටගරියකට දාන්න පුළුවන් .  
- KH 

Nissanka Rajapaksa

unread,
Oct 5, 2025, 9:54:55 PM10/5/25
to INDRAKA group
28

ආදරය ආදරයමයි

- නාලනී තෙන්න‍කෝන්


සාංඝික දානය ඉතා හොඳින් ම පිරිනැමීමට හැකිවීම පිළිබඳව, සිරිතුංග හාමිනේ සිහිපත් කළේ කුසල් සිත පෙරදැරි වූ නිරාමිස සතුටකිනි. පරාක්‍රම සිරිතුංග මහතා ගැන පන්ස‍ෙල් නායක හාමුදුරුවන් විසින් කරන ලද ගුණ කථනය, එම හැඟීම් තීව්‍ර කළේය.

මේ පුණ්‍ය කටයුත්ත සිදු කෙරුණේ තමන් මෙලොව තනිකර දමා හදිසි හෘදයාබාධයකින් නික්ම ගිය සැමියා ගේ වියොවින් වසරක් පිරීම නිමිත්තෙනි. ඒ සඳහා සහභාගි වීමට පැමිණ සිටි පිරිස අතරින්, දානය දීමෙන් පසුවද දෙදිනක් ම නතර වී සිටි අයද පිටව ගියහ.

“අනේ මන්දා මැඩම්, උදව්වට ආවට මොකද මේ මිනිස්සු ගේ පුරාම යකා නටලා!”

ගේ අස්පස් කරමින් මේ මැසිවිල්ල නැඟුවේ ඇගේ සහායට නිවසේ නතර වි සිටින මැටිල්ඩාය. ඇය මැදිවියේ නිරෝගී කාන්තාවකි. හොඳ ගෘහ සේවිකාවකි.

හෙට දින විශ්‍රාමික නිවාසයේ දිවා ආහාරය පිරිනැමීමට ද සිරිතුංග හාමිනේ සැලසුම් කර සිටින්නී ය.

දිවා අහාරයට අමතරව, ඇඳුම් බෙහෙත් වර්ග ආදිය ඇතුළත් ලොකු පෙට්ටියක් ද මැටිල්ඩා සමඟ එක්ව ඇය මේ වනවිටත් සකසා අවසන්ය.

තම සැමියා වු සිරිතුංගගේ අල්මාරියෙහි පාවිච්චි නොකළ ඇඳුම් රැසක් ම තිබූ බැවින් ඒවා ද රැගෙන යාමට ඕ කල්පනා කළාය. ඇය කාමරයට ගොස් ඔහුගේ අල්මාරිය විවර කර බැලුවාය.

ඈ සිත ශෝකයෙන් පිරී ගිියාය. පෙර දවස තමන් ප්‍රිය කළ ඔහු ගේ ඇඳුම්වලින් විසිරෙන සුවඳ ඇයට දැනිණි. එසඳ තමන් ප්‍රේමණීය ඇමතුමෙන් නම් කළ “පරා” තවමත් “ජිනා” ගේ සිතින් බැහැර වී නැත. ඇයට සුසුමක් නැඟිනි. හැඟීම් බර සිතුවිලි බැහැර කර ගැනීමට ඇය, දානය අවසානයේ සුමනජෝති හාමුදුරුවන් විසින් අනියතය පිළිබඳව කරන ලද දේශනය සිහි කරන්නට විය.

අල්මාරියෙන්, විවර නොකළ කවරවල තිබූ කමිස කිහිපයක් ද, තුවා, බැනියම්, සරොම් ආදිය ඇය වෙන්කර ගත්තාය.

අල්මාරියේ පහතම තට්ටුවෙහි අසුරා තිබුණේ ඡායාරූප ඇල්බම කිහිපයකි. විවාහ ඡායාරූප එකතු ‍දෙක ඇඳමත පෙරළා බලමින් ඇය අතීතයේ මිහිරි මතකය යළි අවදි කර ගත්තා ය.

විවාහයෙන් පසුව වරින්වර ගත් ඡායාරූප ඇල්බමය ඔහු නම් කර තිබුණේ “අපි දෙන්නා” යනුවෙනි. එම සමීප ඡායාරූප වල එකල ඇය රූමත් තරුණියක ලෙසින් දිස් වූ අතර, සමහර සේයා රූ ඇය කිහිප වරක්ම පෙරළා බැලුවා ය. “සරසවිය’ යයි නම් කළ ඇල්බමය ඇය විසින්ම සකසනු ලැබූවකි.

හැට හැත්තෑව දශකයේ කොළඹ සරසවිය, පින්තූරවල දැකීමෙන් ඇයට සිතට සතුට දැනැවිණි. නව කලාගාරය, දොඹගහ යට, රවුම් කැන්ටිම, “රේස්කෝස්” පන්ති කාමර, නුදුරින් දිස්වන ග්‍රහ ලෝකාගාරය ඒ අතර දක්නට ඇත. පුස්තකාල ගොඩනැඟිල්ල ඉදිරිපිට සිටිමින් ගත් ඡායාරූපය ඇය නැවත නැවත නැරඹුවේ එහි සිටින පිරිස වෙන් වෙන්ව හඳුනාගැනීමට ය.

මාධවී, සඳුනී, නාලනී, තිළිණි, මුදිතා ඒ අතර සිටිය. එකල සිරිතුංග හාමිනේ “ජිනාදරී රත්නසේකර” විය. ඡායාරූපවල සෑම තැනකම ජිනාදරී ළඟින්ම සිටියේ, වංශනාථ ජයතිලකය. ඔහු ඇගේ සරසවි නිල’ඹරට පැයූ සරා සඳ සිසිල විය.

ඔහු මුලින්ම දුටු අවස්ථාව ඇයට සිහිවිය. ඒ “ජේමිස්” ගේ නවකවදයට හසුවූ දිනයේය. එහිදි ජිනාදරීට නියම වූයේ, වංශනාථ ගේ අත අල්ලාගන පෙම්වතියක සේ පිට්ටනිය වටා දස වාරයක් සක්මන් කිරීමටය. එක් වටයක් අවසානයෙහි දී වංශනාථ, ජිනාදරී ගේ දකුණත සිපගත යුතුය. වාර දහයට “අලගු” වශයෙන්, එක් ගමනාන්තයක දී කෙළවලින් තෙමා ගල් කැටයක් ඇගේ අත්ලෙහි තැබිය යුතු විය.

නවකවද “කැලෑ නියෝගයට” අනුගත වීමට සිදු වූවා මිස මේ ක්‍රියාවන් කෙරෙහි දෙදෙනාගේම හිත් තුළ කැකෑරෙමින් තිබුණේ, කලකිරීම සහිත ආවේගයකි.

වංශනාථ මතකයට පිවිසීම ඇයට විඳින්නට සිතෙන කරුණක් විය. ඇය ඒ මිහිරිතම අතීත නිධානයක් මතුකර ගනිමින් පින්තූර යළි යළිත් නැරඹුවාය. ඒ සමඟම, දොඹගම යට ජස්ටින් ගේ ඇමතුම, පාර්ලිමේන්තු වැටලීම, පෙළපාළි, සටන් පාඨ සමඟ, කඳුළු ගෑස්, පොලිස් වැටවල්, කුලු, පොලු ඇගේ සිතට පිවිසුණේ එකිනෙක පොර බදිමින් ය. එක් වරක් පෙළපාළි යමින් සිටිය දී කඳුළු ගෑස් ප්‍රහාරයෙන් ඇය බේරා ගැනීමට වංශනාථ ඇගේ අතින් ඇදගන තර්ස්ටන් මාවතට පැන නේවාසිකාගාරය අසලටම පැමිණි අයුරු සිරිතුංග හාමිනේ සිහිකළේ වැළලී තිබූ සෙනෙහස යළිත් මතුකර ගනිමින්ය.

උපාධි පරීක්ෂණය අවසන් වූ පසු “රීට්ස්” සිනමා හලෙහි දී “එක් පූල් දෝ මාලි” චිත්‍රපටය නරඹද්දී ඔහු ඇය ළඟින් සිටියේ ය. එහි සුමධුර ගායනයෙන් ඔවුන් ගේ සිත් මෝහනය වී තිබූ බව ඇයට මේ දැන් සේ මතකය. වෙන්වීම පිළිබඳ වූ දෝමනස්සයෙන් සිත් සතන් කැලඹී සිටිය දී ඔවුහු එකිනෙකාගෙන් සමුගෙන වෙන්වූහ.

එතැන් සිට, මාස කිහිපයක් ම ගතවන තුරු දෙදෙනා මිතුරු මිතුරියන් ගේ නම් වලින් රහස් ලිපි හුවමාරු කර ගත්හ. කල්යාමේ දී වංශනාථ ගේ ලිපි එවීම නතර විය.

එදවස ඇය රැය පුරා නිදිවරමින් හැඬූ කඳුළු වලින් කොට්ටය තෙත් වී තිබිණි. පසු කලෙකදී වංශනාථ ඇගේ සිතින් බැහැර කිරීමට සිදුවූ මුත්, තම ප්‍රථම ප්‍රේමය වළලා දමන්නට සිත ඉඩ නොදුණි. උපාධි ප්‍රදානෝත්සවයට ඇය ගියේ වංශනාථ හමුවීමේ දැඩි අපේක්ෂාවකිනි. එහෙත් ඔහු ඇයට හමු නොවීය. එම දුක්බර සිතුවිලි ඇගේ වතින් දිස් විය.

“ක්ලාස් එකක් නැති එක ගැන ඔය තරමට හිතන්න එපා දුව....” යනුවෙන් මෑණියන් පැවසුවේ දියණිය ගේ දුක්බර ස්වභාවය ඇයට වැටහුණු ආකාරයට ය.

ජිනාදරී රත්නසේකරට උපාධි ගුරුපත්වීම ලැබුණේ, නගරයේ මිශ්‍ර පාසලකට ය. උසස් පෙළ ආර්ථික විද්‍යා විෂය ඉගැන්වීම ඇයට ඉතාම ප්‍රියමනාප විය. සිත නිදහස් කර ගනිමින්, දරු දැරියන්ට සමීපව රාජකාරියෙහි යෙදීම නිසා නව පණක් ලද සේ ඇය පිබිදිණි.

ඇගේ කඩිසර, ප්‍රියමනාප ගතියට බෙහෙවින් ඇලුම් කළ, සිංහල විෂය භාර මනමේන්ද්‍ර ගෙන් ඇයට විවාහ යෝජනාවක් ඉදිරිපත් විණි. ඔහුගේ පෞරුෂය ප්‍රිය කළ ද ඇය යෝජනාව පිළිකෙව් කළාය. තවමත් ඇගේ ගේ යටි සිතෙහි වංශනාථ සැඟවී සිටින බව සිහි කරමින්, තව දුරටත් නිදහස්ව සිටීමට අදිටන් කර සිටියා ය.

තම පියා විසින්, ඔහු ගේ හිත මිතුරකුගේ පුත්, පරාක්‍රම නිවසට කැඳවූයේ මේ අතරතුරදී ය. ජිනාදරී එයට එකඟ නොවුව ද පියා පරාක්‍රමට තම දියණිය විවාහ කරදීමේ අදහස අකාමකා දැමීමට කැමති ‍නොවීය.

ඔවුන් ගේ ඇරයුමෙන් පරාක්‍රම අවස්ථා කිහිපයක දී ම නිවසට පැමිණ, ජිනාදරී සමඟ කතාබහ කළේය. නමුදු ජිනාදරී විවාහ නොවන්නේ කිසියම් වෙනත් සබඳතාවයක් නිසා බව දෙමවුපියනට ඉව වැටී තිබිණි. කෙසේ නමුදු අවසානයේ දී දෙමව්පියන් ගෙනආ යෝජනාවට කැමති වීමට ජිනාදරීට සිදුවිය. තවදුරටත් වංශනාථ ගැන සිතමින් මනසට වධදීම ඒ වන විට වෙහෙසකර බවක් දනවමින් තිබිණි.

පරාක්‍රම කඩවසම් තරුණයෙකි. බැංකු කළමනාකරුවෙකි. දවසින් දවස ළෙන්ගතු වෙමින් ඇය ගේ සිතට පිවිසීමට ඔහු සමත් විය. අතීත සබඳතාවයෙහි සියලු නටබුන් යළි භූගත කර, පරාක්‍රම සමඟ විවාහ වීමට ඇය අවසානයේ සිත හදාගත්තාය.

කල්පනා සයුරෙන් මතු වූ සිරිතුංග හාමිනේ ගේ මතකයට පරාක්‍රම තමන්ට සැලකූ අයුරු ද බොහෝ සුළු දෙයක් පවා ඔහු අවධාරණය කළ බව ද එක් වරක් ඇය ලියූ නිසදැසකට ඔහු ප්‍රතිචාර දැක්වූ පිළිවෙළ ද සිහිපත් විය. එම පබැඳුම තවම මතකයෙහි ඇත.

“රන්හුය අත් බැඳ එදා මෙදා තුර

දස වසරක් ගෙවුණා.

කල්ප කාල දුටු සොඳුරුම සිහිනය

බොඳවන බව දැනුණා....

ඒ පින් මහිමය දෝත දරන්නට

පෙරීන් නැති බව හැඟුණා.

මියෙන තුරාවට

නොනිවෙන ගින්නක

දැවෙනා බව දැනුණා“

දරුවෙක් වෙනුවෙන් නොකළ දෙයක් නොගිය තැනක් නැති තරම්ය. වරක් කුසෙහි පිළිසිඳි දරුවා උපතෙහි දී ම මිය ගොස් තිබිණි. මේ කව ලීවේ ඒ දුකින් කම්පනයෙන් දැවෙමින් සිටියදීය. සිතේ නොමැකී රැඳුණු දිනයක් ඇයට සිහිවිය.

එදින ඔහු නිවසට පැමිණියේ පුවත් පතක් අතැතිවය.

“ජිනා, මෙන්න පත්තරේ...”

“ඇයි පරා, මොකක්ද විශේෂය....?”

“බලන්න.... බලන්න....” ඔහුගේ ස්වරය වෙදනාකාරීය. කිසිවක් සිතා ගැන්මට නොහැකි වූ තැන ඇය පත්තරය දිගහැර බැලුවාය.

“ආ... ඒක පළ කරලා...!” තම කවිය පළවීමේ සතුට බෙදාගන්නට කෙනෙකු ඇයට ඕනෑ විය. පරාක්‍රම හාන්සි පුටුවේ හිඳිමින් ඈත අහස දෙස බලා සිටියේ ය. එහෙත් ඒ මුවෙහි සිනාවක සේයාවක්වත් නැත.

“ජිනා, මං කී දවසක් නම් කීවද ඔය දේ අමතක කරන්න. ඔයා, ඔයා ගේ හිත විතරක් නෙවෙයි මගේ හිතත් පාරනවා. ප්ලීස්... ආයෙමත් ලියන්න එපා. ඔය ලතෝනියට මං කැමති නෑ.”

හිතේ දුකට පරාක්‍රම ගේ වචන මුසු වීමෙන් දෑසෙහි කඳුළු පිරුණු ඇය හැඬුවාය. ඉකි බිඳිමින් හැඬුවාය. එදෙස නො බලා නිහඬව සිටි පරාක්‍රම ටික වේලාවකින් ඇය ද කැටුව ගෙතුළට ගියේය.

“ජිනා, අපට දරුවෙක් හදන්න බැරි බව අපි දෙන්නම දන්නවා. මටත් ඔයාට වගේම ඒකේ අමිහිර දැනෙනවා... ඒත් මං කැමති නෑ ඒ මත්තේ ජීවිතේ තිත්ත කර ගන්න. ප්ලීස් අපි එ්ක අමතක කරමු“.

සීලිම දෙස බලාගත්වනම හිඳිමින් ඔහු එසේ පැවසුවේ ඇ‍ඳෙහි අනෙක් පසින් සිටි ජිනාදරිය ගේ ළය මත දකුණත තබමින් ය. ඇයට ඔහුගේ අතෙහි උණුසුම තදින්ම දැණිනි.

“නෑ... සත්තයි. මං ඒ ගැන හිතන්නෙ නෑ... සමාවෙන්න... ඔයාගේ හිත පෑරුවාට...” යයි කීවාය.

එදින තරම් පරාක්‍රම ආදරය පෙන්වූ දිනයක් නැති තරම් යයි ඇයට සිහිවිය.

ඉන්පසු ජීවිත නිදහසේ ගලා ගියේය. දුක සැප මුසු වුව ද සාමකාමී සහජීවනයෙන් කැදැල්ල රසවත් අන්දරයක් විය. එහි ඛේදවාචකය වූයේ නොසිතූ ලෙස සිදු වූ තම ප්‍රියයා ගේ නික්ම යාමය.

මේ සියල්ල සංසාර දහම යයි සිතමින්, ඇය කල්පනාවෙන් මිදී, ඡායා රූප ඇල්බමය අල්මාරියට දමා යතුරු ලෑවා ය.

මැටිල්ඩා ගේ ශබ්දයක් නො ඇසේ. ඇගේ වැඩ අවසන් වූවා විය හැකිය. ඇය හමුවීමට සිරිතුංග හාමිනේ නිවෙස පුරා ගියාය.

“මැටිල්ඩා, තේ එකක් බොමුද....?”

සිරිතුංග හාමිනේ හඬ නඟා ඇය ඇමතුව ද පිළිතුරක් නොලදින්, මැටිල්ඩා ගේ කාමරයට ගියා ය. මැටිල්ඩා තද නින්දෙහි ය.

“පව්.... මහන්සියටම නින්ද ගිහින්...” කියමින් දොර අඩවල් කළ සිරිතුංග හාමිනේ තේ කෝප්පයක් සාදා ගැනීමට මුළුතැන් ගෙට ගියාය. කිරිපිටි, සීනි, තේ කහට මුසුව දුම් නඟින තේ බඳුනෙන් නැ‍ඟෙන සුවඳ මිහිරි ආස්වාදයක් දැනවීය. ඇය විසිත්ත කාමරයෙහි අසුන් ගෙන, රූපවාහිනිය ද නරඹමින් තේ පානය කළේ, හෙට දිනයේ දී සිදු කෙරෙන පින් කටයුත්ත පිළිබඳව සිතෙහි නැ‌ෙඟන සතුට විඳිමින් ය.

පසුදින ඔවුන් “සංහිඳ” විශ්‍රාම ශාලාවට යනවිට දහවල් දහයට ආසන්න වී තිබුණි. නවාතැනෙහි සේවකයන් දෙදෙනා ගේ ද සහාය ඇතිව, ප්‍රේමසිරිගේ වෑන් රියෙන් ගෙන ආ සියලු දෙය ගෙතුළට ගත් මැටිල්ඩා ඒවා නිසි ලෙස එක් තැනෙක රැස්කර තැබුවාය.

හරිත වර්ණිත වන උයනක් වැනි එහි අවට තරමක් උසට නැගි ඇසළ ගස් කහ මලින් සුසැදි මනස්කාන්ත දසුනක් මවා ඇත. නිවාසය ඉදිරි පස සැලසුම් කළ මල් පාත්ති රැසකි. වර්ණවත් චිත්‍රයක් සේය. පිටුපසින් භෝග, එළවළු වගාවන් ය. අක්කරයක පමණ වූ ඉඩමේ නිවාසය පරිසරයට මධ්‍ය ගතව පිහිටි, පැරණි සහ ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ සහිතව ගොඩ නැඟුවකි. මෙය වයෝවෘද්ධයන් ගේ සිත් සතන් නිවා සැනසීමට කදිම ඔසුවකැයි සිරිතුංග හාමිනේ සිතිණි.

මෙහි නිවැසියෝ විසි තුන් දෙනෙකි. ඔවුන් තමන් රිසි දෙයෙහි නිරතව විවේකීව පසුවනු ඇය දුටුවාය.

දිවා ආහාරයට පෙර, ඔවුන් ගෙන ආ, කේක්, කෙසෙල් ගෙඩි, අතිරස, වැලිතලප ආදිය කඩදාසි පිඟන්වල අසුරා තැබූ මැටිල්ඩා කිරි පැකැට්ටුව බැගින් ද ඒවා අසල තබමින් තේ පැන් සංග්‍රහය පිළ‍ියෙල කර තිබුණි. නිවැසියෝ මහත් රුචියකින් සංග්‍රහය පිළිගත්හ.

ඔවුන් සතුටින් සංග්‍රහය භුක්තිවිඳිනු දුටු සිරිතුංග හාමිනේ ගේ දෑස තෙත් වූයේ, “මේ ගමනට පරාක්‍රමත් හිටියානම්” යන සිතුවිල්ල නිසාය.

ඇය අවට බැලුයේ දෑස් හී නැඟි කඳුළු කිසවෙකුටවත් නොපෙන්වන්නටය. ඒ ඇසිල්ලේ ඇය දුටුවේ මිදුලේ කොණක වූ සුවිසල් උණ පඳුර යට රවුම් මේසය අසල පුටුවක වාඩි වී කෙනෙකු පොතක් කියවන අයුරුය. ඇය ඒ අකුරු කියවන්නට උත්සාහ දරුවාය. ‘සම්භාව්‍ය රුසියන් කෙටිකතා‘ එබඳු පොතක් කියවීමට තරම් රසඥතාවයකින් යුතු මහල්ලා සමඟ කථා කිරීමට, ඇගේ සිතෙහි නලියන හැඟීමක් ජනිත විය. ඇය සෙමෙන් එදෙසට පියමැන්නාය.

“මමත් හරිම ආශාවකින් කියවන පොතක්.” ඕ කීවාය.

“හ්ම්.... මෙහේ පුස්තකාලෙ හොඳ පොත් තියනවා.... මිස්ට පතිරණ ගෙන් ඉල්ලගන යන්න පුළුවනි...”

ඔහු කථා කළේ පොතට යොමු වූ දෑස් ඉවතට නොගෙන හිඳිමින් ය.

“වුවමනා නැහැ. මට පොත් තියනවා. මං ඇහුවට කමක් නැද්ද. මහත්තය ඔය පොතට කැමති ඇයි කියලා....?”

“කාරි නැහැ. මේ පොතේ හුඟක් තැන්වල මං ඉන්නවා. ඒකයි.”

“ඒක සාර්ථක උසස් කෙටිකතා ලක්ෂණයක්...!”

ඇය විචාරාත්මක විලාසයෙන් කීවාය.

“ඔව්... “සහෘද” වීමක්.... පිළිතුරු ලෙසින් ඔහු පැවසීය.

සිරිතුංග හාමිනේට ඔහු සමඟ කථා කිරීමේ රුචිය තවත් වැඩී යනු දැනිණි.

“අපි ටිකක් කථා කරමුද....?” කියමින් ඇය අසල වූ පුටුවක් ගෙන ඔහුට මුහුණලා වාඩි විය.

“පෙන්ෂන් යන්න කලින් මොනවද කළේ....?”

“එකක්, දෙකක් අන්තිමට ගුරුකම... ඉගැන්නුවේ ආර්ථික විද්‍යාව....”

“උපාධි පත්වීමක් ද?”

“ඔව්....”

“කොහේ ද....”

“කොළඹ....”

“කළම්බු කැම්පස්..! අවුරුද්ද..?”

“හැට හත - හැත්තෑව....”

“මමත් හිටියනේ.. එකම බැච් එක...”

“ඔව්.. මං දන්නවා...”

“මාව දන්නවා ද...?”

“ඔව්....” පො..ල්..කිච්චි... “ජින්” උන් නම් දැම්මේ එහෙමනේ.... මං ජසියා”

“දෙයියනේ, වංශනාථ! මේ ඔයා...!”

“කෑ ගහන්න එපා....! කියමින් ඔහු මුහුණ පොතෙන් ඉවතට ගෙන ඇගේ වත දෙස එක එල්ලේ බැලුවේය.

ඇගේ සිත බෙහෙවින්ම සසල විය. සිරුර වෙවුලන සේ ඇයට දැනිණි. ඕ අත් බෑගය විවර කර ලේන්සුව ගෙන දහඩිය පිස දැමුවාය. යළි වචන පෙළ ගැස්වීමට මඳක් පමාවිය.

“මං මැරි කරන්නේ නැතිව කාලයක් බලා සිටියා... ඇයි මාව මඟ ඇරියේ...?”

“ඒක ලොකු පැටලෙන කතාවක් ජින්....”

“අනේ කියන්න වංශා..මට අහන්නම ඕනෑ....”

“කියන්නං..මං හිතුවෙ නෑ කවදාවත් මේක කියන්න ඔයාව මුණ ගැහෙයි කියලා...”

දැන් සිරිතුංග හාමිනේ වංශනාථ ඉදිරියෙහි සරසවියේ ‘ජින්” ය. “පොල්කිච්චි” ය. ඔහු එසඳ ඇගේ ප්‍රේම වසන්තයේ සුපිපි පුෂ්පය. “වංශා” ය. නැතහොත් ළෙන්ගතු “ජසියා” ය.

තුරුණුවියේ පෙම්කතාව දෙදෙනාට ම නව නළු රස මුසුය. එහි අනුවේදනීය නිමාව ගැන ඇයට තිබුණේ දුකකි.

“උපාධියෙන් පස්සෙ මං කැම්පස් එකෙන් මතුවුණ විමුක්ති කණ්ඩායමට බැඳුණා. සමාජ, ආර්ථික විෂමතාවයට, අසාධාරණයට විරුද්ධව අරගල කළා. සටන් පුහුණු වුණා. කැලේ හිටියා.. කෑවෙ නෑ. බීවේ නෑ... නොවින්ද වේදනාවක් නෑ...”

ඔහු ඉතාමත් අමිහිරි වූ කතාව නතර කර ඇය දෙස බලා සිටියේ ය. වියපත් ඒ නෙත් යට සැඟව ඇති ප්‍රේමය හඳුනා ගන්නට ඇය ඔහු දෙස හොඳින් බලාසිටියාය.

“ඉතිං ඊට පස්සේ....?” වංශනාථ සරදමට මෙන් සිනාසුණේය.

“ඉස්සරත් ඔයා ඔහොමමයි. අපි මොනවා හරි කියනකොට, “ඉතිං ඊට පස්සෙ” කියනවා. මතකද අන්තිමට අපේ ක්ලික් එකේ අය, ඔයාට “ජින්” නොකියා “ඉතිං ඊට පස්සෙ” කියලා නමක් පටබැන්දා....”

සිරිතුංග හාමිනේ ලේන්සුවෙන් කට වසාගෙන සිනහ වෙන්නට විය.

“ඔයාට ඒවා තාම මතකද වංශා...?”

“අනේ ඔව් ජිනා, ඒවා මට කවදාවත් අමතක වෙන එකක් නෑ....”

“ඉතිං ඊට පස්සෙ ඔයා මැරි කරාද....?”

“නැහැ ජින්... මට තවත් කෙනෙක් ගැන හිතුනෙම නෑ..... මගේ රස්තියාදු චරිතෙත් අරං ඔයා ළඟට එන්න හිතුණෙත් නෑ. ඔයා හොඳින් වග දැන ගත්තම හිත හදාගත්තා....”

“කොහොමද මං ගැන දැන ගත්තේ....?”

ජස්ටින්ගේ මළගමට මාත් හදිසියෙම ගියා. මට එදා සඳුනියි, මාධවියි මුණ ගැහුණා. එයාලා විස්තර මට කීවා...”

අනතුරුව, ඔහු රැකියාවට යාම, නිදහස් චින්තන මතධාරියකු වීම, තනියට සිටි මව මියයාම ආදී බොහෝ තොරතුරු ඇය උපේක්ෂාවෙන් අසා සිටියා ය.

“එතකොට ඔයා මෙතැනට ආවේ...?” ඔහු මඳක් නිහඬව සිටියේ ය.

“ඉතිං ඊට පස්සේ....?” ජිනා ගේ විමසීමට යළිත් ඔහු සිනාසුණි.

“ඒක තමයි මගේ ඛේදවාචකය ජිනා.... මං ඒක කාටවත් කියන්න කැමති නෑ... ඒත් ඔයාට කියන්නං.”

“මගෙ අම්මත් නැති වෙලා මං තනියම ගෙදර හිටිද්දි යාළුවෙක් මා එක්ක නතර වෙන්න ආව... අපි ඉතින් කාල බීලා සතුටින් හිටියා. මිනිහා කළේ එක එක බිස්නස්... ඒ වැඩවලට ප්‍රයිවෙට් බෑන්ක් එකකින් ලොකු ණයක් ගත්තා. පළවෙනි ඇප කාරයට මං අස්සන් කළේ. නමුත් එයා ඒ ණය ගෙවලා නැහැ. ඒ වන විට පොලියත් එක්ක කෝටි දෙකකටත් වැඩියි. මිනිහා මගේ ගෙදරින් ගිහින් අවුරුද්දකුත් පහුවෙලා. බැංකුවෙන් මාව හොයාගෙන ආවා. ඒ මුදල මට ගෙවන්න කිව්වා. මං හැංඟි හැංඟි හිටියා. නමුත් අවසානයේ ඉඩමයි, බැංකුවේ තිබුණු සල්ලි ටිකයි සේරම දීල මං නිදහස් වුණා. අවසානයේ යන්න එන්න තැනක් නැති නිසා මෙතැනට ආවා.

“එතකොට ණයගත් මිනිහා?”

“එයා දැන් රටෙත් නෑ.... කොහොමත් මට මෙතන හොඳයි...

සිරිතුංග හාමිනේ සුසුමක් හෙළුවාය. ඇගේ හිස මත මහා බරක් පතිත වූවා සේ දැනිණි.

දිවා ආහාරයට වේලාව ළංවී ඇති බැවින් ඇය කෑම කාමරයට පිවිසියා ය. මැටිල්ඩා කෑම මේසය අපූරුවට පිළියෙල කර තිබුණි.

විශ්‍රාමිකයෝ ද, අමුත්තෝ ද එක්ව ආහාර ගත්හ. ප්‍රණීත ආහාර පානාදියෙන් ද සුහද කතා බහෙන් ද කවුරුත් සෑහීමකට පත්ව සිටියහ. ඔවුහු සිරිතුංග හාමිනේට තුති පුද කර යළිත් තම තමන්ගේ කාර්යයයන් හී නිරත වුහ.

වංශනාථ විවෘත ආලින්දයේ ඇඳි පුටුවක වාඩි වි බොහෝ ඇත බලා සිටින්නට විය.

“ලෑස්ති වෙන්න දැන් අපි යමු...”

ඔහු අසලට පැමිණි සිරිතුංග හාමිනේ කීවාය.

“අනේ බැහැ ජීන්.... මේ නහින දෙහින කාලේ.. ඉතුරු ටිකත් මෙහෙම ගෙවුනාවෙ... ඔයාට පුළුවන් නං ඉඳහිට මාව බලන්න එන්න.”

“වංශා මේ අහන්න... ඔයාට ඉන්න පුළුවන් වෙයි. ඔයා හිතනවද මට ගෙදර ගිහින් හිත හදාගන ඉන්න පුළුවන් කියලා... දරුවෙක් නැතුව, මහත්තයත් නැතුව මගේ හිත තනිවෙලා තියන තරම ඔයාට හිතන්න බැරිද....?”

“වංශා, අපි දැන් අපිස් ජීවිතයට ළංවුණත් “මනුස්සකම” වයසට යන්නේ නෑ...

“යමු... අපි යමු වංශා...”

නිවාස පාලක පතිරණ මහතා ලිපි ලේඛන ගොනුවක් ද සේවකයකු විසින් ගෙන එන ලද බෑගය ද සිරිතුංග හාමිනේට භාර දුන්නේ ය.

“වංශනාථ මහත්තය යන්න. “නංගි” මට විස්තර කිව්වා. පස්සෙ අපිව බලලා යන්න එන්න...” කියමින් ඔහු සමුගෙන ඉවත් විය.

“මං කිව්වා ඔයා මගේ ලොකු අම්ම ගේ පුතා කියලා.... මං ඔයාගෙ ‘නංගී’ කිව්වා.

වංශනාථට මඳ සිනාවක් නැඟිණි..

“ජීන්... ජීන්... ජීන්... තවමත් ඉස්සර වගේම හිතුවක්කාරී....” කියමින් ඔහු අ‍සුනෙන් නැගී සිටියේ ය.

සිරිතුංග හාමිනේ ගේ දුරකථන පණිවිඩය ලැබී මඳ වේලාවකින්, වෑන් රථයෙන් රියදුරු ප්‍රේමසිරි පැමිණියේ ය. සේවකයන් ගේ සහාය ඇතිව මැටිල්ඩා හිස් බඳුන් ආදී සියල්ල පිටුපස අසුනෙහි තබා එම අසුනෙහිම වාඩි වූවාය.

සිරිතුංග හාමිනේ ගේ පිටට දකුණත තබා වමතින් ඇගේ අතින් අල්ලා ඇයට වාහනයට නැඟීමට උදව් කළ වංශනාථ රියට ගොඩ වී ඇය අසලින් වාඩි වී ඇගේ උරහිස් පිටුපසින් සිටින සේ ඔහු ගේ දකුණත අසු‍නේ උඩ කොටසෙහි පතිත කළේය.

http://d.silumina.lk/2021/11/27/%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%92/%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA-%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B6%B8%E0%B6%BA%E0%B7%92

Nissanka Rajapaksa

unread,
Oct 6, 2025, 9:14:22 PM10/6/25
to INDRAKA group
29
තාත්තා 

- ඉශූ එස් වීරවර්ණ

ඔක්කොටම ඕනෙ වුනේ තාත්තට මගුල කියනවද කියලා දැන ගන්න....ඕක දැනෙන දැනෙන මොහොතක් පාසා ප්‍රවීන්ට පුදුම තරහක් දැනුනෙ...

තාත්තා ...මහ දුරක නෙමේ..ඉස්සරහ ගෙදරට  එහා පැත්තෙ ගෙදර....

ඒ අසල්වැසිකමත් අම්මගෙ කසාද ජීවිතේටත්  එකම වයස වෙන්න ඕනෙ.

ඔක්කොටම එකම කාලෙ තමයි ආණ්ඩුවෙ ඉඩම් ලැබිලා තිබුනෙ.

නිකම් ඉඩම් හම්බෙලා...ගෙවල් හදා ගන්න සල්ලිත් දීලා...මිනිස්සුන්ව ගොබ්බයො කරලා...ප්‍රවීන් හිතුවෙ එහෙම..මොකක්ද තරහක් ඉඩම් නිකම් දීපු ආණ්ඩුව එක්ක..ඒකත් ප්‍රවීන් මව්කුසට පිළි සිදෙන්නත්  වසර තිස් ගාණකට විතර එපිට ආණ්ඩුවක් එක්ක වෛරෙ...අම්මා කියනවා වගේ නිස්කාරණේ බැනිල්ලක්...පලක් නැහැ ඔහෙ බනිනවා.

හැබැයි කාලකණ්නි බිහි කරන්න නිකම් හැමදේම දුන්න කාලකණ්නි ආන්ඩු කිය කියා බාල කොල්ලා කෑ ගහලා බැන්නට ප්‍රවීන්ගෙ අම්මා තිස්සෙම විරෝධතාව ප්‍රකාශ කළේ කුටු කුටුවෙන්...උච්චස්වර භාවිතා වුණේම නැති තරම්...

අම්මා තාත්තව බැන්දට හරි හමන් රස්සාවක් තිබිලා නැහැ (අර ඉස්සරහා ගෙදරට එහා පැත්තෙ ගෙදර තාත්තා නොවන බව ඔබ කරුණාවෙන් සැළකිය යුතුයි)

තාත්තා අතට අහුවෙන කංකරු වැඩක් කරාපු එකෙක් මිසක්කා හරි හමනක්කෙට රස්සාවක් තිබිච්ච එකෙක් නෙමේ....ඕං ආච්චිගෙ කතාව.

ලොකු අක්කයි,ලොකු අයියලා දෙන්නයි හම්බුනායින් පස්සෙ අම්මා නොමිලේ ඉඩං ගෙවල් හම්බුණු කොළනිකාරයින්ගෙ එකම අඩු පාඩුව වෙච්චි සුමිහිරිපානේ වෙළෙදාම පටන් අරං තිබ්බා..

හවසට කොළනි ගෙවල් වලින් ඇහුනු බජව් වලට හේතුව අම්මා විකුණපු සින්දු වතුර.

ඒ බජව් ඉවර වෙද්දි ඇහුණු ගුටිකන ගෑණුන්ගෙ දරුවන්ගෙ විලාපෙට හේතුවත් ඒකමයි...

ගෙදෙට්ට අරක්කු අල්ලන්න ආපු පොලිස් මහත්තයගෙ හැඩේ එහෙම් පිටින්ම පවුලෙ සිව්වෙනි දරුවා වෙච්චි දෙවෙනි අක්කට ලැබුනා...අම්මගෙ සොයං රැකියාව රැකුනා...

පස්වෙනි දරුවා වෙච්චි අක්කා ගමේ ඉස්කෝලේ ගුරෙක්ගෙ කපාපු පලුව...අම්මගෙ වැදගත් ගණුදෙනුකාර බවතෙක්...ඉස්කෝලෙ ගුරාගෙ පවුලත් ගුරුතුමියක්...හරි කරුණාවෙන් කාටත් සළකපු...හවසට පදං වෙන ස්වාමිපුරුෂයාගෙන් ගුටි කද්දි කොළනි ගෑණු වගේ මරලතෝනි නොදී ඉකිය හිරකරගෙන නම්බුව රැක ගත්තු.

ඊගාවට අවුරුදු හතකට පස්සෙ තමුන්...බාල පුතා...

යාන්තමට දැනෙන කාලෙ මුලිං කාඩ තාලෙ වැඩිමල් කොල්ලන්ගෙ විතරක් නෙමෙයි වැඩිහිටිගොල්ලන්ගෙ උනත් ඔච්චං ඇවිත් ප්‍රශ්ණාර්ථ ලකුණු කෙලකෝටියක් ප්‍රවීන්ගෙ මනසෙ මැව්වා....

ඉස්සරහ ගෙදරට එහා ගෙදර හිටපු තාත්තට දුවලා විතරයි උන්නෙ.

ඒ මනුස්සයා කොළඹ කන්තෝරුවක..

ප්‍රවීන්ට මතක කාලෙ ඒ තාත්තා රට පුරා එකේක කන්තෝරුවල වැඩ කළා...

නිවාඩුවට එද්දි එයාගෙ ගෙදර යන්නෙ තමුන්ගෙ ගේ පහු කරගෙන..

කොල්ලො නඩේ එක්ක බෝල ගහද්දි ගියපු රණ්ඩුවකදි බාලයියා(ඌ හෙන නහරකාරයා.කොළනියෙ ඔක්කොමල්ල ඌට කතා කළේ ඒ නමින්)

"තෝ අපේ බාප්පගෙ එකම කොල්ලා නොවෙන්න තෝව ගහප් මම මෙතනම උස්සලා පොළොවේ,ගෙම්බා ගැහුවා වගේ" 

ඌ එහෙම කිව්වම ප්‍රවීන් කල්පනා කළේම උගෙයි ප්‍රවීන්ගෙයි නෑ කමක් නැහැ කියලා..ඌ ඉස්සරහ ගෙට එහා පැත්තෙ ගෙදර මිනිහගෙ අයියගෙ පුතා මිසක්.

මුලින් දීග ගිහින් ඈතක හිටපු ලොකු අක්කා තමුන්ගෙ උප්පත්තියෙන් පස්සෙ අම්මලා එක්ක තරහාවෙලා අවුරුදු දහ පහළොවක් මහගෙදර නෑවිත් උන්නා.

ඒ අක්කගෙ දරුවො සේරම ප්‍රවීන්ට වඩා අවුරුදු දහ පහළොවක් වැඩිමල්.

ප්‍රවීන් ඉස්කෝලෙ යන වයස එද්දි අම්මයි තාත්තයි දෙන්නම වයසයි..ගෙදර අගහිගකම්වලින් පිරිලා තිබ්බට තාත්තා තිස්සෙම ප්‍රවීන්ට "කාපන් පොඩි කොලුවො" කියලා මොනාම හරි දුන්නා.

මහලු වියේ එළිපත්තෙ උන්නු තාත්තා පරණ රැලේ පුස්සයිකලේ ප්‍රවීන්වත් දාගෙන එහෙමෙහෙ ගියා...ප්‍රවීන් ආසා කළා එහෙම රවුම් වලට...ඉස්කෝලෙට උනත් ...හැමෝම හිතුවෙ ප්‍රවීන් සීයා එක්ක එන්නෙ යන්නෙ කියලා...

හැබැයි ඉස්සරහ ගෙදරට එහා ගෙදර උන්නු ...නිවාඩුවට යද්දි එද්දි එක විඩේ ඔලුව උස්සලා බලලා අඩිය හයියෙන් තියලා යන තාත්තා නං තරුණයි...එයා එයාගෙ දූරු හුරතල් කරනවා ළගකදි ඒ ගෙදර ඉස්සරහ තාප්පයක් ගහනකම්ම වැට අස්සෙන් පෙනුනා.

ඒ දූරු ප්‍රවීන්ට වඩා අවුරුදු හත අටක් බාලයි..තමුන්ගෙ උප්පත්තියෙන් පස්සෙ ඒ තාත්තා කසාද බැදලා තිබ්බෙ..

"ඉදකිම් මේකා ඇවිදින්නෙත් අරූ වගේ පැත්තට"

"අම්මේ ඉතිං අහවලා අඹලා"

ඔන්න ඔය වගේ කතා අස්සෙ වයසට ගොහින් මොළේ කල්පනාව ඩිංගක් අවුල් වෙච්ච වයසක උන්දෙක් කඩේ පිළේදි අහනවා මේම,

"ආ බං කොල්ලො බොලයි මහ එකා දැන් කොයි දිහස් තියෙන කන්තෝරුවෙද වැඩ?"

ප්‍රවීන් කල්පනා කරනවා මේ අහන්නෙ මොන තාත්තා ගැනද කියලා...අපේ තාත්තා කන්තෝරුවල වැඩ නැහැනෙ...

පුන්චිම සංදියේ තාත්තා ප්‍රවීන්ව කරේ තියන් යනවා...අස්සයා ගෝං ගෙනියනවා..
කුරුම්බැට්ටි මැශින් හදා දෙනවා...

ලොකු වෙද්දි ලොකු වෙද්දි පවුලෙ අනිත් දරුවො වගේ නෙමේ...ප්‍රවීන් ඉගෙන ගන්න දක්ශයෙක් උනා...ශිශ්ශත්වෙ පාස් වෙලා ලොකු ඉස්කෝලෙකට ගියා...කොල්ලව හන්දියට වෙනකම් පුස්සයිකලේ දාන් ගිහින් බස් එකට නග්ගලා ...බස් එක යන දිහත් බලන් ඉදලා ආවෙ තාත්තා ...

කොල්ලා ක්‍රිකට් ගහන්න උනාම ඕනෙ කරන කළමනා ගන්න සල්ලි නැතුව තාත්තා එක එකාගෙන ණය ඉල්ලන්න ගියා ප්‍රවීන්ට මතකයි...රෑ වෙනකම් කුලි වැඩ කරලා කොහොමහරි ඕනෙ කරන දේවල් ගෙනත් දුන්නා...

දවසක් ග්ලවුස් දෙකක් ගන්න වැඩ කරපු ඒවයෙ සල්ලි ඉල්ලන්න සිරිල් මහත්තයලගෙ ගෙදරට ගිහින් ඉද්දි සල්ලි දෙන ගමන් සිරිල් මහත්තයා තාත්තට මෙහෙම කිව්වා...

"එක එකාගෙ පැටවුන්ට කරන්න උඹ කන කට්ටක් මේ බැරි වයසට සුමනෙ"

තාත්තගෙ මූණ වෙනස් වුනා ප්‍රවීන්ට මතකයි..
ආපහු එද්දි පුස්සයිකලේ පෑගුවෙත් අමුතු තාලෙකට එදා..ආයෙ කවදාක්වත් තමුන් එක්ක සිරිල් මහත්තලගෙ දිහා ගියෙ නැහැ ...වෙන වෙන තැන්වල වැඩ හොයන් කළා...

පස්සෙ කාලෙ තාත්තා තමුන්ට සැළකුවේ හරිම ගෞවරවේකින්...පූජනීය වස්තුවකට වගේ ...

මයෙ පොඩි පුතා....

පවුලෙ අනිත් දරුවො වගේ නෙමේ ප්‍රවීන් විස්ස විජ්ජාලෙ ගියා...ඕන් ඒ වෙද්දි ලොකු අක්කා සමාදානයි...අයියලා රට රටවල ගිහින් උදව් උනා...අගහිගකම් නැති වුනා..

කැම්පස් එකෙන් ගෙදර එන ප්‍රවීන්ට තාත්තා කැමති කැමති ජාති හොයලා තිබ්බා..

ඉස්සරහ ගෙදරට එහා පැත්තෙ ගෙදර මනුස්සයා පැන්සොන් යන්න කිට්ටු කරලා ...දැන් දකින හැමතැනම ඩිංගිත්තක් මූණ දිහා බලනවා...

ඔය දීර්ඝ බැලිල්ල "කොහොමද පුතා " එකක් දක්වා දියුණු පවුනු වුනා.

ගමේ අය උනත් ඔලුව නමනවා ප්‍රවීන්ට...අපේ කොලුවෙක් නොවැ.

දිසාපති ප්‍රවීන්ට ඉස්සරහ ගෙදෙට්ට එහා පැත්තෙ ගෙදර ඇත්තො අසල්වාසිකම් පවත්තන්නොත් වුණා...නංගිලට රස්සාවක්..නංගිලා?????

ධනංජිට හරි ආදරෙයි තාත්තා....සීදේවි ගෑණු ළමයා ...බාල පුතාගෙ...

ඉස්සරහ ගෙදරට එහා ගෙදර තාත්තට මගුල් කියන්නෙ නැද්ද??

එහාට වෙඩින් කාඩ් එකක්...

නිළ නොවන පෙනී හිටීමක් කන්තෝරු කාරයට මගුලට සාක්ශියට අත්සන...අම්මා එහෙම ඇහුවම එක රැවිල්ලක් ...ප්‍රවීන්ගෙන් ...එච්චරයි...

අඩු තරමෙ මගුල කිව්වෙවත් නැහැ ..දිසාපති හමුදුරුවන්ගෙ තාත්තා...බොහොම වයසයි..වෙවුල වෙවුල උජාරුවට මගුල් ගෙදර විරාජමාන වුණා.

දිසාපති හාමුදුරුවොත් තාත්තගෙ අතින් අල්ලන් උන්නෙ මගුල් ගේ පුරාම..

අන්තිමේ හනිමොං පිටත් වෙද්දි පැත්තකට වෙලා කදුලක් ඇස් පුරෝගෙන උන්නු වයසක සුමනෙ....දිසාපති හාංදුරුවො කාරෙකෙන් බැහැලා ඇවිත් ආයෙ තාත්තට වැන්දා...

අනුන්ගෙ දරුවො වෙනුවෙන් දාඩිය හෙලපු ....

අවජාතක තාත්තලා උන්නා ඉස්සරහ ගෙදරට එහා ගෙදර...පජාත දරුවො දිසාපතිලා කළා සුජාත තාත්තලා.... 




Nissanka Rajapaksa

unread,
Oct 8, 2025, 5:39:22 AM10/8/25
to INDRAKA group
30
මේරි ටීචර්ගේ මඩු වන්දනාව

- මංජු නාගමුව

අන්නයිරාළ උදේම තමන්ට සුපුරුදු කර්තව්‍ය කරමින් පල්ලිය වත්තේ වැටුණු පොල් එකතුකරන්නට විය.තැන තැන වේලෙන්නට දමා තිබූ   ගොම,  පෝර උර තුනකට එකතුකර අවසන් කළ ඔහු ඉන්පසු පල්ලියේ කනත්ත වෙත ගියේ තවත් අරමුණක් ඇතිවය.කලින් දින හැන්දෑවේ ලැගුම් ගෙය පිටුපස කුකුළු කොටුවට ඇතුළුකළ කුකුළුන්,ගණන ඔහුට වරදින්නට විදිහක් නැත.දෙපාරක් ගණන් කළද එක කුකුලෙක් අඩු බව ඔහුට දැනිණි.ඒ බදාදා හැංදෑකරේ ජපමාල නුවානය අවසන් වූවාට පසු අන්නයිරාළ  පල්ලිය වසා දමා ලයිට් නිවාදැමුවාට පසු දෛනික වැඩවලින් නිදහස් වුවද, 
ඒ අල්ලපනල්ලේ කුකුල් කොටුවේ එකෙක් නැතිවග සුවාමිට කීමට ඔහුට හිත් දුන්නේ නැත.ඔහු එළිවෙනතුරු බලා සිටියේ පල්ලිය වත්තේ  ගහක හෝ කනත්තේ කජු ගහේ හෝ නැතිවුණු කුකුලා ලැග ඇතැයි කියා ය.වැටුණු පොල් හා වේළුණු ගොම එකතුකරමින් ඔහු කල්පනා කළේ කුකුලා ලැග සිටින තැනක් ගැනය.මින් පෙර දිනයකද එසේ අතරමං වූ කුකුලෙකු කනත්තේ කජු ගහේ ලැග සිටියා ඔහුට මතකය.
ඒ පෙර මතකයත් සමග ඔහු කනත්තට ඇතුළුවන කුඩා ගේට්ටුවේ ඉබ්බා පන්නා දැම්මේ ය.
පියවර කීපයක් ඉතා හෝදිසියෙන් ඒ මේ අත බලමින් ඔහු නැතිවූ කුකුලා සොයන්නට විය.බයිබලේ එන නැතිවූ බැටළුවාගේ කතාව ඔහුට මතකෙට නොආවේ සිත කැලඹිල්ලෙන් වූ නිසාය.
ජේසු ස්වාමි දරුවන් කුරුසියේ ඇණගැසූ විසාල සුරුවම දෙස මොහොතක් බලා සිටි අන්නයිරාළ කනත්තේ පඩි එකින් එක පල්ලමට බසිමින් කුකුලා සොයන්නට විය.ඔහු කලින් සිතා සිටි අයුරුන් කුකුලා කජු ගහේ නොවීය.
මළ ගියවුන්ගේ සොහොන් කොත් මත සවිකර තිබූ කොංක්‍රීට් ,කිරි ගරුඬ කුරුස හා වෙනත් සංඛේත බලමින් ඔහු කුකුලා සොයා කනත්තේ පහළවන්නට වූ වෙල ඉස්මත්තටම ඇවිදගෙන ගියේය.

"විලියොං අප්පුහාමි නානායක්කාර "
         "උපත 1938 ⁣අගෝස්තු 02"
             "විපත 2002 මැයි 06"

විලියොං අප්පුහාමි නානායක්කාර මිය ගිය අය වෙනුවෙන් පල්ලියට ගෙවා වෙන්කරගත් දෙන භූමදාන කරන ඉඩමක් ඇත.ඒ සඳහා ඔප්පුද නිකුත් කර ඇත.එවන් වෙන්කරගන්නා ලද කුඩා බිම්තීරු ඕනෑ තරම් පල්ලි කනත්තේ තිබේ.ඉහත කී  විලියොං අප්පුහාමි නානායක්කාර මහතාට වෙනුවෙන් ඉදිකල වටේ කඩොලින්  බැඳ වෙන්කල කොටසේ පඩිය පාමුල කාන්තාවක් ගුලිවී වාඩිගෙන සිටින බැව් අන්නයිරාළ සැක හැර දැනගත්තේ දෙතුන්වරක් ඒ දෙස බලා සි⁣ටීමෙන් පසුවය.

"මේ කවුද ඔය.මොකද මෙතන කරන්නේ.අනික මම මේ කනත්තෙ ගේට්ටුව අරින් කලින් කොහොමද මෙතනට ආවේ"

"අනේ අන්යිරාළ මාව දන්නැද්ද?.මම මේරි ඇග්නට් ?"

"මේරි  ඇග්නට්..නෑ මට ඒ හැටි මතකයක් නෑ"

"මේරි ටීචර් කිව්වම කවුද නොදන්නෙ අන්නයිරාළ."

"අපොයි ඔව් නේන්නං.මේ මේරි ටීචර් මෙතන මොකද කරන්නේ.අනික අද මළවුන්ගේ පූජාව තියන දවසකුත් නෙමේනේ"

"අන්නයිරාළ මට මෙතන ඉන්න දීලා  ගියානං,නේද හොඳ"

අන්නයිරාළ කිසිවක් කීවේ නැත.ඔහු කල්පනා කරන්නට යෙදුනේ මේරි ටිචර් කනත්තේ කුඩා ගේට්ටුව අරින්නට කලින් මෙතනට ආවේ කෙසේද කියා ය"
"එක්කෝ මේ ගෑනි ඊයේ රාත්‍රියේ කනත්තේ ගේට්ටුව වහන්න කලින් මෙතනට ඇවිත් තියෙනනවා.එහෙම නැත්නං වෙල පල්ලෙ ඇවිත් කම්බි වැටෙන් පනින්න ඇති"අන්නයිරාළ එසේ සිතමින් යන්නට වූයෙන් නැතිවූ කුකුලා ගැනද අමතක වනන්නට විය.

ඔහු කනත්තෙන් ලැගුම්ගේ පැත්තට පියවර තබන්නට වුයේ සුවාමි ඇහැරී ඇත්නම්  කනත්තේ  ඉන්න මේරි ටීචර් ගැන පැවසීමටය.
ලැගුම් ගෙයි ඉදිරිපස දොර වසා ඇත.පියතුමා ඇත/ නැත යැයි සඳහන් පුවරුව "නැත"යන්නෙන් සටහන් කර ඇත.
එහෙත් ලැගුම් ගේ වම් පස ජනේලයක් විවෘතව තිබේ.එතුළින් කාමරයේ මද ආලෝකයක්ද එළියට කාන්දුවෙමින් තිබිණි.
සුවාමි උදේ යාච්ඤා කරමින් ඇතැයි සිතූ අන්නයිරාළ ලැගුම් ගේ පිටුපසට යන්නට විය.කුකුල් කොටුව පසුකරමින් යන අන්නයිරාළ ට හදිසියේ නැතිවූ කුකුලා ගැන සිහිවන්නට වූයෙන් කොටුවට එබුණු ඔහු යළි වරක් කුකුළුන් ගණන්කරන්නට විය.

"මොකෝ අන්නයිරාළ මේ උදේම කුකුල් කොටුවට එබීගෙන කොරන්නෙ."

අන්තෝනි අයියා යැයි කවුරුත් අමතන ඔහු සුවාමිගේ කෝකියා ය.උදේම අවදිව පියතුමාගේ ආහාර පානාදිය ගැන සොයාබලා කටයුතු කරන්නේ අන්තෝනි අයියා ය.

"අන්තෝනි මලයා සුවාමි නැගිටලද"?

"අපොයි ඔව් මම දැන් තේ එකත් ගිහින් දීල පැය කාලක් විතර ඇති"

"දැම්ම එළියට  එන එකක් නැද්ද?"

"ඒක කියන්න දන්නෑ අන්නයිරාළ .ඔහේට ඕන නං කාමරේ ළඟට ගිහින් කතාකරල බලන්න"

අන්නයිරාළ පාපිස්නෙන් දෙවරක් යටි පතුල් පිසදා නැවත වරක් එසේම කළේය.ලැගුම් ගේ නිහඬ අරණක් වැනිය.ශ්‍රී හර්දෙ සුරුවම ළඟ රතුපාට පහන දැල්වේ.ඒ අසලම විසිතුරු බඳුනක බහා තිබූ ටයිගර් ලිලී මල් සුවඳ අන්නයිරාළ ගේ හිත පිරෙව්වේය.

"සුවාම්...ඇහැරලද ඉන්⁣නේ"

"කවුද?"

"මම මර්තේලිස්"

"අන්නයිරාළ නේද?"

"ඔව් සුවාමි"

පියතුමා කාමරයේ දොර විවෘතකළේය.ඔහු කලු දිග කලිසමක් සහ සුදු අත් කොට බැනියමක් ඇඳ සිටියේය.

"ඇයි"

අන්නයිරාළ ට පියතුමා ට පැවසීමට කරුණු දෙකක් ඇත.ඉන් පළමුව පැවසිය යුත්තේ කුමන කරුණ ගැනදැයි කල්පනා කරන අතර පියතුමා නැවත" ඇයි " කියා ඇසුවේය.

"සුවාමි කනත්තෙ ගෑනු කෙනෙක් ඉන්නව"

"මේ උදේම"

"ඒකනෙ සුවාමි.මම කනත්තෙ ගේට්ටුව අරිනකොටත් ගෑනි ඇතුළෙ හිටියෙ"

"එහෙම වෙන්නෙ කොහොමද අන්නයිරාළ. ඒ මනුස්සයට කතා කළාද?"

"ඔව් සුවාමි මම කතාකළා"

"ඉතිං ඒ කාගෙ කවුද" මොකද කිව්වේ?"

"ඒ ඇවිත් ඉන්නෙ මේරි ටීචර්."

මේරි ටීචර් කිව්වාට පියතුමාට එකවර ඈ ගැන අදහසක් පහල වූයේ නැත.තම මළගිය ඥාතිවරයෙකු වෙනුවෙන් යාච්ඤා කිරීමට කනත්තට පැමිණි කාන්තාවක විය හැකි බව පියතුමා කල්පනා කළේය.

"අපි ගිහින් බලමුද සුවාමි"

"හ්ම් හොඳයි අපි යමු"

පියතුමා ඇඳසිටි කලු දිග කලිසමට උඩින් සුදු ලෝගුව ඇඳගත්තේය.අන්නයිරාළ පියතුමාට කලින් පියවර තබමින් කනත්තට ඇතුළු ව්ය.ඔවුන් එහි යන විටත් පෙර පරිදිම මේරි ටීචර් ගුලිවී සිටියා ය.

"මේරි ටීචර් ,මොකද මේ පාන්දරම කනත්තෙ කරන්නේ"

"ෆාද...ජේසු පිහිටයි ෆාද"

මේරි ටීචර් කුමක් හෝ අපහසුතාවයකින් පසුවන බව තේරුම්ගත් පියතුමා ඇය ඒ අසලවූ කුඩා කුටිය වෙත රැගෙන එන ලෙස අන්නයිරාළ ට පැවසුවේය.
දෙනක් භූමදාන කිරීම සඳහා පල්ලියේ කනත්කට ගෙනවිත් මේ කුඩා කුටියේ වූ ගලින් තිනූ ආසනය මත තැන්පත් කරනු ලබයි.පල්ලියේ පියතුමා සහ අනෙකුත් ඥාති මිත්‍රාදීන් අවසන් ගෞරව දක්වන්නේ එතනදීය.
මේරි ටීචර් කුඩා කුටියේ කෙ⁣ටි බංකුව මත වාඩි වූ පසු අන්නයිරාළ ට ඉන් ඉවත්ව යන්නැයි පියතුමා කළ නිහඬ සංඥාව  තේරුම්ගත් අන්නයිරාළ ඉන් ඉවත්වී නැතිවූ කුකුලා සොයමින් ඉවත්ව ගියේය.

"මේරි ටීචර් කියමු බලන්න මොකද වුණේ කියලා"

"මම ආව ෆාද එයා ඉන්න තැනට"

"කොයි වෙලාවෙද ටීචර් කනත්තට ආවේ ?"

"මට මතක හැටියට එතකොට පාන්දර දෙක පහුවෙලා තුනට විතර ඇති"

"ඒ වෙලාවේ කනත්තෙ ගේට්ටුව වහලනෙ තිබුණෙ?"

"ඔව් ෆාද මම  වෙල දිගේ ඇවිදගෙන ඇවිත් කමිබ් වැටෙන් පැන්නා"

"කරුවලේ කොහොමද එහෙම කළේ.මොනවද ඔය අතේ තියෙන මල්ල"

"මේ මගෙ ඇඳුමකුයි ,පූජා පොතයි ගීතිකා පොතයි,කොන්කුයි ෆාද.මේ මල්ලෙ මගෙ ටෝච් එකත් තියෙනව"

"හොඳයි  මේරි ටීච ඇයි පාන්දර මෙතනට ආවෙ?"

"මට වෙන යන්න තැනක් නෑ ෆාද."

"ටීචර් ඉන්නෙ මිල්රෝයි ළඟ නේද?"

"ඔව් ෆාද .මම ඉන්නෙ පුතා ළඟ තමයි "

"එහෙමද එහෙනං දිගටම මෙතන ඉන්නද කල්පනාව"

"නෑ ෆාද.මම හවස් වෙලා ගෙදර යනවා , අපේ එක්කෙනා මට කිව්වේ එයා ළඟට එන්න කියලා.මම ඉතිං ආවා"

"ඇයි මිල්රෝයි ගෙ ගෙදර ඉන්න කරදරයිද මේරි  ටීචර්ට?"

"මිල්රෝයිගෙ ගෙදර නෙමේ ෆාද ,ඒක හැදුවෙ අපි දෙන්නම එකතුවෙලා.මිල්රෝයි ගෙ තාත්ත  පවුලේ බාලයවුනත් මහගේ එයාගෙ අක්කට දුන්නනෙ.ඉන් පස්සෙ ඔය ගේ හදල තමයි අපි කසාද බැන්ඳේ.අනේ වේයෙක් තුඹසක් බඳිනව වගේ අපි දෙන්න ඔය ගෙයි වැඩ ඉවරකරනකොට දෙන්නටම පැන්ෂන් යන්නත් කාලෙ හරි ගියා"

මේරි ටීචර් තම සැමියා ගැන කතාකළේ හිත පුරා සතුට පුරෝගනිමින්.ඒ සතුට කෙමින් වියැකී මහළු නෙත් අගට කඳුලක් ගලා එනව පියතුමාට පෙනුණා.

"සුවාමි සුවාමි"

"මොකද අන්නයිරාළ මේ කැගහන්නේ.මොනවද ඔය අතේ මිට මොළවගෙන ඉන්නේ?"

"අනේ බලන්නකො සුවාමි ඊයෙ රාත්‍රියේ හෝතඹයෙක් මූව මස්කරලනෙ.මේං පිහාටු ට්ක වෙල පල්ලෙ හුළගෙ ගිහින් තිබුණා"

"අන්නයිරාළ මෙච්චරවෙලා කුකුල හොයන්න ගියාද?"

"ඔව් සුවාමි ඊයෙ හවහ ගණිනකොට එකෙක් අඩුවෙලා තිබුණා.ටක්කෙටම මූව ඊයෙ හවහ අල්ලගන්න ඇති"

නැතිවූ කුකුලා හොයන්න අන්නයිරාළ වෙහෙසුන තරමක් මිල්රෝයි තම මව ගැන සොයන්න වෙහෙසිලා නෑ නේද සිතමින් පියතුමා මිල්රෝයිට දුරකතන ඇමතුමක් ගත්තේය,

"ගුඩ් මෝනිං ෆාදර් ගෝඩ් බ්ලෙස් යූ"

"ගුඩ් මෝනිං ,මිල්රෝයි කොහෙද ඉන්නේ?"

"ඔෆිස් යන ගමන් ෆාද, ඇයි ෆාද හදිසියක්ද?"

"නෑ මල්රෝයි හදිසියක් නෙමේ.මේරි ටීචර්ට පනිවුඩයක් දෙන්න කියල බැලුවේ"

"අද පාන්දරින්ම අම්මා ගියා ෆාදර්"

"කොහෙද අම්මා  ගියේ මිල්රෝයි"

"ඇයි ෆාද අද වැඩිහිටි සමිතියේ කට්ටිය මඩුපල්ලි යනවනෙ.මම අම්මව පාන්දර තුනට කුරුස හන්දියේ බස් එක එනව කියපු තැනට ඇරලවල ආවේ"

"මිල්රෝයි මඩු යන බස් එක එනකම්ම හිටියද?"

"නෑ ෆාද අම්ම කිව්ව මට ඉන්න ඕන නෑ කියල.වාහනේ එනව කියල අම්ම කුරුස හන්දියේ ඉන්නම් කිව්වා .තව මඩු පල්ලි යන දෙතුන් දෙනෙක් එතන හිටියා ෆාද"

"හා හොඳයි මිල්රෝයි තැන්ක්යූ"

පියතුමා දුරකතන සංවාදය නිමකර මේරි ටීචර ළඟට ආවේ වෙලා තියෙන දේ ගැන නිනව්වක්,නැතුව.

"මේරි ටීචර් අද මඩුපල්ලි ගියෙ නැද්ද.වැඩිහි⁣ටි සමිතියේ කට්ටිය අද මඩු යනව නේද?"

"ඔව් ෆාද,ඒත් මට තනියම මඩු යන්න හිත දුන්නෑ"

"තනියම"

"ළමයි පුංචි කාලෙ ළමයින්ගෙ තාත්තා හැම මංගල්ලෙකටම අපි එක්ක මඩුපල්ලි ගියා.මට තනියම යන්න බෑ ෆාද.ඒක කියන්නයි මම මහත්තය හම්බෙන්න මෙතනට ආවෙ.මම තනියම මඩු ගියානම් අපේ මහත්තයට කොච්චර දුකක් දැනෙයිද ෆාද"

Nissanka Rajapaksa

unread,
Oct 8, 2025, 10:21:35 PM10/8/25
to INDRAKA group
31
අරගලය

- සමන් ඩී වඩුගේ

(සති අග අරුණ පුවත්පතින්)
Aragala_Aruna_Paper.pdf

Nissanka Rajapaksa

unread,
Oct 9, 2025, 10:39:39 PM10/9/25
to INDRAKA group

32

පොත් රාක්කය

- පාලිත ගනේවත්ත 


අතුපතර සොලවමින් සුළඟක් හමා ගියේ ය. සුළඟින් සෙලවුණු උස ගම් ගස් පේලියෙන් ගිලිහුණු බෝවිටියා ගෙඩියේ හැඩය ගත් දුඹුරු පැහැති කුඩා ගැටිති බංකුව උඩට වැටී විසිරී ගියේ ය.

‘මේ දවස්වල මේ හුළඟ තමයි උහුලන්ට බැරි, දවාලට ටිකක් රත්වුනාට හුළඟ බොහොම හීතලයි’ යි බංකුවේ වාඩිවී සිටි සෝමසුන්දර කීවේ ය. සෝමසුන්දරත් විමලචන්ද්‍රත් හිඳ සිටියේ උද්‍යානයේ ගස් දෙපේලිය අතරින් විහිදුණු මාවතට මුහුණ ලා ඇති ලී බංකුවේ ය.

‘ඔව්, සීතල කාලෙ ඉවරවුණු ගමන්නෙ, දැන් ඔය ග්‍රීෂ්මෙට කලින් වසන්ත කාලෙ එනකොට තමයි මේ අමුතු හුළඟ’යි කියූ විමලචන්ද්‍ර ඇඳ සිටි ජම්පරය දෙපසින් ඇඳ එහි උඩ බොත්තම් දෙකද පියවා ගත්තේ ය.

හැම සතියකම බදාදා විමලචන්ද්‍රත් සෝමසුන්දරත් හමුවී මේ උද්‍යානයේ මේ බංකුවේ හිඳ කතාබස් කිරීමේ පුරුද්ද ඇතිවී දැන් වසරකට ආසන්නය. දෙදෙනාම විශ්‍රාමිකයෝ ය. ගුරු වෘත්තියේ නියැලුණු දෙදෙනාම බ්‍රිස්බනේ නගරයට පැමිණ ඇත්තේ තම දරුවන් බැලීමට වඩා මුණුබුරු මිණිබිරියන් බලාකියා ගැනීමට ය. ඔවුන් දෙදෙනාගේම දුවරුන් දෙදෙනා ඔස්ටේ්‍රලියාවේ බි්‍රස්බේන් නගරයට සංක්‍රමණය වූයේ මීට අට වසරකට පෙර ය. මෙරටදී උපත ලත් තම මුණුබුරු මිණිබිරියන්ගේ වයස් අවුරුදු පහට අඩුය. තම දෙමාපියන් බි්‍රස්බේන් නගරයට ගෙන්වා ගැනීමට දෙදෙනාගේම දරුවන යුහුසුළු වූයේ ඔවුන් රැකියා සඳහා ගියවිට දරුවන් බලා ගැනීමේ ගැටළුවට විසඳුමක් සෙවීමේ අටියෙනි. විමලචන්ද්‍රත් සෝමසුන්දරත් ඔස්ට්‍රේලියාවට ළඟාවූයේ එතරම් කැමැත්තකින් නොවේ. ජීවිතයේ සැන්දෑ සමය තමන් උපන් බිමේ සුපුරුදු පරිසරය තුළ විශ්‍රාම සුවයෙන් ගෙවා දැමීමේ සිහිනය අකමැත්තෙන් වුවද බිඳ දමන්ට සිදුවීම පිළිබඳ සන්තාපය තම දරුවන්ගෙන් සඟවා තබා ගන්ට දෙදෙනාම වග බලා ගත්හ.

‘අපට දැන් අතේ පයේ හයිය නෑ ඔය දුවන පනින දරු පැටික්කියො බලාගන්න’ වරක් බංකුව උඩ හිඳ කතාබස් කරන අතර සෝමසුන්දර කීවේ ය.

‘කොරන්න දෙයක් නැහැ, දරුවෝ ටිකක් උස්මහත් වෙනකම් ඒ අයට උදව් කරන්න එපාය, දෙන්නම ජොබ්ස්වලට යනවනේ’ යි කියූ විමලචන්ද්‍ර ඉරිදා දිවයින පුවත් පතේ මැද පිටුව පෙරළා ගත්තේ ය.

පෝල් කීටින් උන්නැහෙ මේ පාරත් දිනපු එක හොඳයි, මෙහාට එන සංක්‍රමනිකයො බලාගන්නවා කිව්වනෙ රස්සාවල් හම්බවෙනකන්’ කියූ සෝමසුන්දර සිනාසෙන්නට විය.

උද්‍යානය පිටුපස තාර පාරට අනිත් පැත්තේ ඇති කුඩා කඩ පෙළේ ඇති සිංහල කඩයට සිංහල පුවත් පත් ළඟාවන්නේ අඟහරුවාදා රාත්‍රියේ ය. ඔවුන් දෙදෙනා සෑම බදාදාම පැමිණ සිංහල කඩයෙන් පුවත් පත් දෙකක් මිලදී ගෙන පාර පැන උද්‍යානයට පිවිස මේ බංකුවේ හිඳගෙන කතාබස් කරමින් පැය කිහිපයක් කල් මරන්ට පුරුදු වීම නිසා දෙදෙනා අතර මිත්‍රත්වය ලියලා වැඩෙන්නට විය.

විමලචන්ද්‍රට පළමුවරට සෝමසුන්දර මුණගැසුනේ බි්‍රස්බෙන් නගරයේ බෞද්ධ විහාරස්ථානයේදී ය. ඒ විමලචන්ද්‍ර අලුත් රටට පා තබා මාසයකට පමණ පසුවය. සෝමසුන්දර බි්‍රස්බෙන් නගරයට පැමිණ ඒ වනවිට වසරකටත් වඩා ගතවී තිබිණ.

‘මිස්ට සෝමසුන්දර පොල්ගොල්ලේ හිටියෙ මොන කාලෙදැ‘යි දිනක් කතාබස් කරමින් සිටින අතර විමලචන්ද්‍ර ඇසුවේ ය.

‘නවසිය හැට දෙකේ ඉඳල’

‘ආ එහෙමද, එහෙනම් මට වඩා අවුරුදු හතරක් ජූනියර්, මම නවසිය පනස් අටේ ඉවර කළේ’

‘අර පේරාදෙණියේ කෝස් එකට ගියේ නැද්දැ‘යි විමලචන්ද්‍ර ඇසුවේ ය.

‘නෑනේ , ඒ පාඨමාලාව අපි යනකොට අහක් කරලා, වියදම් ප්‍රශ්නයක් නිසාලු, ආණ්ඩුවෙන් දෙන ෆන්ඩ්ස් නවත්තලලු’

‘අපරාදෙ, හරිම වටිනා කෝස් එකක්, ඉගැන්වීමේදී ගුරු ශිෂ්‍ය සම්බන්ධතාවයේ මනෝවිද්‍යාත්මක පැත්ත ගැන හොඳ අවබෝධයක් ලබාගන්ට අපට පුළුවන් වුණා. ඒ පාඨමාලාව අහක් කරපු එක ලොකු පාඩුවක්’

විමලචන්ද්‍ර මද වේලාවක් කල්පනාවේ ගැලී සිටියේ ය. පොල්ගොල්ල ගුරු අභ්‍යාස විදුහලේ ගත කරන අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හය මසක පාඨමාලාවට සම්බන්ධවීමට ඔහුට අවස්ථාව ලැබිණ. ඒ පාඨමාලාව මෙහෙයවූයේ රටේ පිළිගත් විද්වතකු වන විද්‍යාකර සූරියපටබැඳි මහාචාර්යවරයා ය. දැන් විශ්‍රාම සුවයෙන් පසුවන ඒ මහාචාර්යවරයා එවකට ශාස්ත්‍ර පීඨයේ අධිපතිවරයා විය. ගුරු ශිෂ්‍ය සබඳතාවල මනෝවිද්‍යාත්මක සංසිද්ධීන් අරබයා ඔහු විසින් ලියා පළ කරන ලද පොත් දෙකක් මිලදී ගන්නා ලෙස පාඨමාලාවට සහභාගි වූ ගුරුවරුනට නිර්දේශ කර තිබිණ. සූරියපටබැඳි මහාචාර්යවරයා ඔහුගේ හය මාසික පාඨමාලාවට පදනම් කර ගත්තේ ඒ පොත් දෙකේ අඩංගු කරුණු ය. විමලචන්ද්‍ර මිලදී ගත්තේ ඉන් එක් පොතක් පමණි.

‘ ඒ දවස්වල අපටත් ආරංචි වුණා ඒ මහාචාර්යවරයා ලියපු වැදගත් පොතක් ගැන, ඔය ශිෂ්‍ය මනෝවිද්‍යාව සම්බන්ධව. මට මතකයි අපි ඒ පොත පරිශීලනය කළා. ආයිත් ආසයි ඒ පොත නිවිසැනසිල්ලේ කියවන්න’ යි සෝමසුන්දර කීවේ ය.’ දැන් ඔය අලුතෙන් පත්වීම් ගත්තු ගුරුවරුන්ට ඔය ගැන අවබෝධයක් නැහැනෙ. මම ළඟදි පත්තරේක දැක්ක කවුද ගුරුවරයෙක් ළමේකුගෙ කනට ගහල ඒ දරුවාව ඉස්පිරිතාලෙට යැව්වා කියල කන් බෙරේ පැලිල’

‘ඒකනේ කියන්නෙ, ළමයින්ගෙ මානසික ස්වභාවය ගැන අවබෝධයක් නැති කමනෙ’

‘ඒ පොත මිස්ට විමලචන්ද්‍ර ළඟ තියෙනවනම් මට දෙන්නකො, කියවන්න ආසයි’

කෙලින්ම පිළිතුරක් නොදුන් විමලචන්ද්‍ර මද වේලාවක් කල්පනාවේ නිමග්නව සිටියේ ය. තමා මෙරටට පැමිණි විට රැගෙන ආ පොත් සමග ඒ පොතත් ගෙන ආ බව ඔහුට මතක ය. එහෙත් ඒ පොත තමා ළඟ ඇති බව කීමට ඔහුට සිත් දුන්නේ නැත.

‘මට යන්තම් මතකයක් තියෙනවා ඒ පොත ගෙනාව වගේ, හැබැයි හොයල බලන්න ඕනෙ’

‘අනේ ඇහැක්නම් වෙලාවක මට ගෙනැත් දෙන්න ඒ පොත හම්බවුණොත්’

එදින විමලචන්ද්‍ර ගෙදර ආවේ ඒ පොත සොමසුන්දරට දෙම්දෝ නොදෙම්දෝ යන දෙගිඩියාවෙනි. එදින රැයේ සාලයේ වූ පොත් රාක්කය අවුස්සා ඒ පොත සොයාගන්නට බැරිවූ තැන ඔහු තම තට්ටු නිවාසයේ පහත ගරාජයට ගියේ ය. බිරිඳත් සමග වාසය කළ කාමර දෙකකින් යුතු තට්ටු නිවාසයේ ඉඩ මඳකම නිසා ඔහු පොත් රාක්ක දෙකක්ම ගරාජයේ තබා ගත්තේ ය. එක් රාක්කයක තිබූ එම පොත සොයාගැනීමට ඔහුට වැඩි වේලාවක් ගත වූයේ නැත. ‘ගුරු ශිෂ්‍ය සබඳතා – මනෝවිද්‍යාත්මක විග්‍රහයක්’ නමැති ඒ පොත කටින් පිස දූවිලි ඉවත් කළ ඔහු එය රැගෙන තම තට්ටු නිවාසයට පඩිපෙළ දිගේ නැග ටෙලිවිෂන් යන්ත්‍රය පිටුපස ඇති පොත් රාක්කයේ කිසිවකුට නොපෙනෙන සේ සැඟවූයේ ය.

මීළඟ බදාදා ඔවුහු දෙදෙනා සුපුරුදු ලෙස සිංහල කඩයෙන් ‘ඉරිදා දිවයින’ මිලදී ගෙන උද්‍යාන බංකුව මත හිඳගෙන කතාබස් කරමින් සිටියහ. කතාව අතරේදී,

‘මිස්ට විමලචන්ද්‍ර අර පොත හම්බවුනාදැ’යි සෝමසුන්දර ඇසුවේ ය.

‘මොන පොතදැ‘යි ඇසුවත් මේ අසන්නේ මහාචාර්ය සූරියපටබැඳිගේ පොත ගැන බව වහා විමලචන්ද්‍රගේ මතකයට නැගිණ.

‘අර කවුද ප්‍රොපෙසර් පේරාදෙණියේ ..’

‘ආ ආ ප්‍රොපෙසර් සූරියපටබැඳිගේ පොත, මම බලන්නම්කො, තිබුණොත් අරගගෙන එන්නම්’ යි විමලචන්ද්‍ර අකමැත්තෙන් මෙන් කීවේ ය.

කෙසේ හෝ එම පොත සෝමසුන්දරට ගෙනැත් දිය යුතුය. නැත්නම් තමන් බොරුකාරයකු වනු ඇත. මේ ගැන සිතමින් එදින විමලචන්ද්‍ර නිවසට ළඟාවූයේය.

මීළඟ අඟහරුවාදා රාත්‍රියේ විමලචන්ද්‍රගේ බිරිඳ ඔහු අමතා මෙසේ කීවා ය.

‘මහත්තය හෙට සිංහල කඩේට යනවනේද? අර අන්රෝස්ටඩ් තුනපහ පැකට් එකක් ගේන්නකො, අර විජය බ්‍රෑන්ඩ් එක., කලින් ගෙනා එක ඉවරවෙන්ට ළඟයි’

හෙට සෝමසුන්දරට දීමට අර පොත රැගෙන යා යුතු බවද විමලචන්ද්‍ර සිහි කළේ ය. ඒ පොත සෝමසුන්දරට දීමට ඔහුට සිත් නොදෙයි. දැන් විශ්‍රාම ගොස් සිටින සෝමසුන්දරට ගුරු සිසු සබඳතා ගැන දැන ගැනීමට කිසි අවශ්‍යතාවක් නැතැයි ඔහු සිතුවේ ය. එහෙත් පොත නොදුන්නොත් ඔහු තමා සමග අමනාප වීමට ඉඩ ඇත. ඔහු ටික වේලාවක් කල්පනා කළේ ය. බිරිඳ නිදන්ට ගිය බව සැක හැර දැනගත් ඔහු ‘ගුරු ශිෂ්‍ය සබඳතා – මනෝවිද්‍යාත්මක විග්‍රහයක්’ පොත රක්කයෙන් ගෙන මුල් පිටුව පෙරළා එදෙස බලා සිටියේ ය.

මහාචාර්ය සූරියපටබැඳිගේ දේශන වාර හත අටකට සහභාගි වුවත් විමලචන්ද්‍ර මහාචාර්යවරයා පෞද්ගලිකව දැන සිටියේ නැත. නිහඬ පුද්ගලයකු වූ මහාචාර්යවරයා දේශන අවසන් වූ වහාම දේශනා ශාලාවෙන් ඉවත්ව ගිය අතර කිසිම ශිෂ්‍යයකු සමග ඇයි හොඳයියක් පැවැත්වූ බවක් ඔහුට මතක නැත. රටේ නමගිය විද්වතකු වූ ඔහු කිසියම් ගෞරවයකින් යුතුව හැසිරුණු බවකි විමලචන්ද්‍රට පෙනී ගියේ.

ඉන්පසු විමලචන්ද්‍ර ඔහු නිතර ලිවීමට ගන්නා කළු පාට බෝල්පොයින්ට් පෑන නොව නිල්පාට පෑනක් ගෙන මේසය උඩ තිබූ සුදු කඩදාසියේ පෑන් පහරවල් කීපයක් ඇඳ එය හොඳින් ලියවෙන බව සැක හැර දැන ගත්තේ ය. අනතුරුව තව ටික වේලාවක් පොත පෙරළගෙන සිට මුල් පිටුවේ පොතේ මුද්‍රිත නමට පහළින් මඳක් ඇල අකුරෙන් මෙසේ ලීවේ ය.

‘ප්‍රිය ශිෂ්‍ය ඇස්. ඇම්. විමලචන්ද්‍ර ට

කර්තෘගේ තුටු පඬුර,

විධ්‍යකර සූරියපටබැඳි, මහාචාර්ය – ශාස්ත්‍ර පීඨය

විමලචන්ද්‍ර එම වැකි කිහිපය ලියුවේ තමන් ලියනවාට වඩා ලොකු අකුරෙන් වම් පැත්තට ඇල කරලා ය. ලියා අවසන්වූ වහාම ඔහුට මතක් වූයේ දිනයක් දැමිය යුතු බවය. මඳක් කල්පනා කළ ඔහු තමා පාඨමාලාව අවසන් කළ 1958 දී බව සිහිකර, වැකි පෙළට යටින්, ජූනි 1958 ලෙසින් සටහන් කර කෙටි ඉරක්ද ගසා හෙට සිංහල කඩයට යනවිට රැගෙන යන කළු පාට රෙදි මල්ලට දමා ගත්තේ ය.

පසුදින සෝමසුන්දරත් විමලචන්ද්‍රත් සිංහල කඩෙන් ගත් ‘ඉරිදා දිවයින’ කියවමින් උද්‍යානයේ සුපුරුදු බංකුවේ වාඩිවී සිටියහ. තමන් පොත රැගෙන ආ බවට කිසි සඳහනක් නොකළ විමලචන්ද්‍ර කොයි මොහොතක හෝ සෝමසුන්දර ඒ ගැන විමසනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටියේ ය. ඔහුගේ සිතිවිලි අවබෝධ කර ගත්තාක් මෙන් එකෙනෙහිම බලමින් සිටි පුවත් පත පහත් කළ සෝමසුන්දර, ‘මිස්ට විමලචන්ද්‍රට අර පොත ගේන්ට මතක් වුණාදැ’යි ඇසුවේ ය.

‘ඔව් ඔව් මම ගෙනාව, ඊයෙ රෑම පොත මේ මල්ලට දාගත්ත අමතක වෙයි කියල’

ඔහු මල්ලට අත දමා පොත ගෙන මහත් උද්දාමයෙන් සෝමසුන්දරට පොත දුන්නේ ය.

සෝමසුන්දර පුවත් පත හකුලා බැංකුවේ පසෙකින් තබා පොත ගෙන පෙරලුවේ ය. මුල් පිටුව පෙරලූ වහාම ඔහුගේ දෑස යොමුවූයේ පොත ප්‍රධානය කිරීමේ සටහනට වෙතට ය.

‘ආ මිස්ට විමලචන්ද්‍රට තෑගි දීල ප්‍රොෆෙසර්ම, හොඳට අඳුනනව ඇති නේද ප්‍රොෆෙසර්ව’

‘ඔව් ඔව්’ විමලචන්ද්‍ර තම මිතුරා දෙස නොබලාම පැවසී ය. ඔහුගේ මුහුණේ සාඩම්බර සිනහවක් පැතිර ගියේ ය.’ ප්‍රොෆෙසර් මට ලියුම් කීපයකුත් එව්වා ඒ කාලේ හිතවත්කමට’

‘හැබෑට, එහෙනම් මිස්ට විමලචන්ද්‍රගෙ හොඳ මිත්‍රයෙක්’

සෝමසුන්දර තම මිතුරා දෙස විස්මය පිරුණු බැල්මක් හෙලුවේ ය.

‘මිස්ට විමලචන්ද්‍ර ළඟ ඇතිනෙ ප්‍රොෆෙසර්ගෙ අනිත් පොතුත්. වෙලාවක එන්ට ආසයි මිස්ට විමලචන්ද්‍රගෙ ගෙදර’

‘එන්න ඕන වෙලාවක එන්න, මගේ පොඩි ලයිබ්‍රරි එක බලන්න’

තමන් ළඟ ඇති වටිනා පොත්පත් කිහිපය සොමසුන්දරට පෙන්වීමට හොඳ අවස්ථාවක් උදාවී ඇතැයි යන සිතිවිල්ල විමලචන්ද්‍රට දැඩි සතුටක් ගෙන දුන්නේ ය.

දෙසතියකට පසු බදාදාවක උද්‍යාන බංකුවේ වාඩිවී පුවත් පත බලමින් සිටි අතර සෙනසුරාදා සැන්දෑවේ තම නිවසට එන ලෙස විමලචන්ද්‍ර සෝමසුන්දරට ආරාධනා කළේය. සති අන්තයේදී මිණිබිරියන් දෙදෙනා බලා ගැනීමේ වගකීමෙන් නිදහස් කර තිබුණු නිසා සෝමසුන්දර එම ආරාධනය සතුටින් භාර ගත්තේ ය.

‘නෝත්පොඉන්ට් ස්ටේසමෙන් බැස්ස ගමන් පාර ඉස්සරහ තියෙන තට්ටු හයේ බිල්ඩිම. දෙවන තට්ටුවේ හයවෙනි ෆ්ලැට් එක’

‘හොඳයි මම එන්නම් එදාට, බොහොම ස්තුතියි. මිස්ට විමලචන්ද්‍රගේ පුස්තකාලෙ බලන්ට ආසයි’

සෙනසුරාදා උදයේ තම බිරිඳ ඇමතූ විමලචන්ද්‍ර සැන්දෑවේ තම නිවසට පැමිණෙන මිතුරා ගැන සඳහන් කර තේ පැන් සංග්‍රහයකට අවශ්‍ය දේ සූදානම් කරන ලෙස ඉල්ලා සිටියේ ය.

‘මම දැන් පහළ ගැරේජ් එකට ගිහින් පොත් ටිකක් ගේනවා උඩට. මිස්ට සෝමසුන්දරට බලන්ට ඕන කිව්ව මගෙ පොත්’

‘ඉතින් උඩට උස්සන් එන්නෙ මොකටද? එයා ආවහම පහළට එක්කන් ගිහින් පෙන්නන්න. ඕව උස්සන්ට ගිහින් ප්‍රෙෂර් වැඩි වෙන්ට පුළුවන්නෙ’

‘අපොයි, එහෙම හොඳය. ගැරේජ් එකේ පොත් තියාගන්නව කියල එයාට පෙන්නන්න’

තම බිරිඳට සවන් නොදුන් ඔහු ගරාජයට ගොස් තුන් වතාවකට පොත් මිටි උස්සාගෙන ආවේ ය. සාලයේ ටෙලෙවිෂන් යන්ත්‍රය ළඟ ඇති එකම පොත් රාක්කය යට බිම පොත් මිටි තැබූ ඔහු මඳක් කල්පනා කළේ ය. දහවල් කෑමෙන් පසු ගරාජයේ ඇති හිස්වූ පොත් රාක්කයද උඩට ගෙනවිත් එහි පොත් තැන්පත් කිරීමට ඔහු තීරණය කළේය. සෝමසුන්දර පැමිණීමට පෙර එය කළ හැකි බවද ඔහුට විශ්වාස ය. තමන් පෙළෙන අධික රුධිර පීඩන තත්ත්වය නිසා තමන්ට බර එසවීමට කිසිවිටක බිරිඳ අවසර නොදෙන බව ඔහු දනී. දහවල් ආහාරයෙන් පසු ඇය කෙටි නින්දකට යන වේලාවේ පහළට බැස පොත් රාක්කය උඩට ඔසොවා ගෙන එන්ට පුළුවන. තුන්වන වරට පොත් මිටිය උඩට ගෙනත් තබා ගරාජයට ගොස් හිස් රාක්කය එහාට මෙහාට කර බැලූ විට හිස් රාක්කය එතරම් බර නැති බවබ ඔහුට සිතුණේ ය.

තමන් ළඟ ඇති වටිනා පොත් පිරවූ රාක්ක දැක සෝමසුන්දර විස්මයට පත්වනු ඇතැයි යන සිතිවිල්ල ඔහු තුළ ඇති කළේ අමුතු ගර්වයකි. ඔවුන් දෙදෙනාම පොල්ගොල්ල ගුරු අභ්‍යාස විද්‍යාලයේ එකම පාඨමාලාව හැදෑරු නමුත් තම බහුශ්‍රතභාවය ගැන සෝමසුන්දර විස්මයට පත්වනු නිසැකය.

දහවල් දෙක හමාර පසුවී බිරිඳ නින්දට ගොස් ස්වල්ප වෙලාවකට පසු ඇය ගොරවන හඬට සවන් දුන් විමලචන්ද්‍ර ඇයගෙන් විරෝධයක් එල්ල නොවන බව සැක හැර දැන හිමින් සීරුවේ ගෙට ඇතුළුවන ඉදිරි දොර පාළුව අඩවල් කර තබා පඩිපෙළ බැස තම තට්ටු නිවාසයට හිමි ගරාජයට ගොස් හිස් පොත් රාක්කය දෙස මඳ වේලාවක් බලා සිට දෑතින්ම එය ඔසොවන්ට තැත් කළේ ය. හිතුවාටත් වඩා රාක්කය බර වැඩිය. එහෙත් මුළු වෙර යොදා දැඩි අපහසුවෙන් රාක්කය ඔසොවාගෙන ඔහු පඩිපෙළ මුලට ආවේ ය. තම පපුව තදවන්නාක් මෙන් දැනුණු නිසා ඔහු රාක්කය බිම තබා විනාඩි දහයක් පමණ ගිමන් හැරියේ ය. අවාසනාවකට මෙන් ඒ වෙලාවේ තට්ටු නිවසයේ වැසියන් කිසිවකු පඩි පෙළ අසලින්වත් ගමන් නොකිරීම ඔහුගේ පුදුමයට හේතු විය. කිසිවකු පැමිණියේ නම් ඔහුගේ උදව් ඇතිව රාක්කය තම නිවස ඇතුලටම ගෙනයෑමට හැකියාව තිබිණ. ආසන්න උප නගරයේ වෙසෙන තම දුවටවත් බෑනාටවත් මේ වෙලාවේ උදව් ඉල්ලා කරදර කිරීම සුදුසු නොවේ. තව විනාඩි කිහිපයකින් රාක්කය දෙවන තට්ටුවේ තම නිවසට ගෙන ගියොත් විනාඩි පහක් ඇතුළත බිම තැබූ පොත් ටික රාක්කයේ අසුරන්ට පුළුවන. ඔහු හිතට ධෛර්ය උපදවා ලොකු හුස්මක් ගෙන රාක්කය දෑතින්ම ඔසොවාගෙන පඩි දෙකක නැග්ගේ ය. තුන්වන පඩියට දෙපය තබත්ම බිත්තියත් පඩි පෙලේ ආධාරක යකඩ රාමුවත් අතර රාක්කය හිරවීම නිසා පය පැටලී ඔහු රාක්කයත් සමග පඩි පෙළේ ඇද වැටුනේ ය. බිම වැටෙත්ම දෑතින් ගිලිහුණු රාක්කයේ උඩ ඇන්ද ඔහුගේ හිසට තද පහරක් එල්ල කරමින් වැටී බිත්තියත් ඔහුගේ සිරුරත් අතර හිරවිය. පඩි පෙලේ යමක් තදින් වදින හඬ ඇසී ඇහැරුණු ඔහුගේ බිරිඳ අඩවල් කර තිබූ දොර තල්ලු කර දමා පඩිපෙළ මුලට විත් හිස් පොත් රාක්කයට යටවී වේදනාවෙන් මිරිකෙන තම සැමියාගේ දර්ශනයෙන් භය බිරාන්තව විලාප නඟන්නට වූවා ය. අඩ සිහියෙන් දෑස හැර බැලූ විමලචන්ද්‍රට ගොඩනැඟිල්ලේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වී පඩිපෙළ නගින්ට සැරසෙන සෝමසුන්දරගේ විදහාගත් දෑස පෙනී නොපෙනී ගියේ ය.


https://www.divaina.lk/features/33636?fbclid=IwY2xjawNTuLlleHRuA2FlbQIxMQABHp3snQPec517Ilr6pHlZtjrAHlO16gabov6m6XWYkFmcIvjD28pRklyEAW7w_aem_7q9gYwNvl95FaHklfOTaTA





Nissanka Rajapaksa

unread,
Oct 16, 2025, 11:26:10 PM10/16/25
to INDRAKA group
33

359 වැනි මරණය


අජිත් පැරකුම් ජයසිංහ

 නීලමනී අම්මා රෑම සින්නතම්බිගේ ගෙදරට කුරගෑවාය.

“අක්කා, මං කියල තියෙනවනෙ රෑ පානෙ කළුවරේ ඇවිදින්න එපා කියලා. හැම තැනම සතා සර්පයා ඉන්නවා. ඔයාගෙ අතේ ෆෝන් එකක් තියෙනවනෙ. ඕනැකමක් තියෙනවා නම් ඇයි කතා නොකරන්නෙ? මං පුතාව එවනවනෙ.” සින්නතම්බි එළියේ හාන්සි පුටුවේ දිගා වී කකුල් දෙකත් උඩ තියාගෙන සුරුට්ටුවක් උරමින් කීවේය. ඔහු නීලමනීගේ බාල සොයුරාය.

සර්පයො! නීලමනි මිමිණුවාය. “කෝ මුණුබුරා? මං ආවෙ එයා හමුවෙන්න.”

සාලයේ බිම එළාගත් ගණන් පොත් වගයක් ඉදිරියේ බිම වැතිරී මුණුබුරා පැන්සල් අග්ගිස්ස විකමින් රූපවාහිනියේ යන වැඩිහිටි නාට්‍යයක් බලමින් හිනා වෙමින් හිටියේය. 

“ඔන්න ලොකු ආච්චි අම්මා එනවා. එයාට කියල ගණන් ටික හදාගන්න,” ලේලි රූපවාහිනියෙන් දෑස ඉවත් කර නොගෙනම කීවාය. නීලමනී පාසල්වල ගණිතය ඉගැන්නුවේ දශක තුනකට එපිටය. ඇය නුහුරු අතින් මුණුබුරාගේ පොතේ ගණන් හදාදෙන්නේ ළමා ප්‍රීතියකිනි.

“ඕව වැරදි වැඩ. ගුරුවරියන්ට වටින්නෙ නැහැ ඔහොම දේ කරන්න.” එවැනි ඇතැම් වෙලාවක මිණිබිරිය  කියයි.

“අක්කා කාලද ඉන්නෙ?” නෑනා ඇසුවාය.

නීලමනී හිස වනමින් හෙමිහිට මුණුබුරා ළඟින් ඇනබා ගත්තාය.

“කුමන්ත්‍රණ.” මිණිබිරිය කීවාය.

“දැන් ටීවී එකේ ගිය ප්‍රවෘත්ති ආයෙ කීයටද යන්නෙ?” නීලමනී මුණුබුරාගෙන් ඇසුවාය.

ඔහු බිත්ති ඔර්ලෝසුව බලා “දහයට. ඇයි ලොකු ආච්චි?” යි ඇසීය.

“මට ඒකෙ පිංතූරයක් ගහල දෙනවද?”

“කාගෙද අක්කෙ?” නෑනා ඇසුවාය.

“කෑගහන්න එපා, පුතාගෙ.”

එහෙත්, කණ් ඇසීම අඩු ඇගේ හඬ උස් නිසා අඩු කරගත යුතු බව ඇයට වැටහුණේ එය කීවාට පසුවය.

“ඒ පාර මොකක්ද?” සින්නතම්බි පුටුවෙන් නැගිට, සුරුට්ටුව විසි කර, මිදුලට කෙළ ගසා, බඩ අතගාමින් සාලයට ආවේය.

“හදනවා ගණන්, ඔය ෆෝන් එක පැත්තකින් තියලා.” ඔහු මුණුබුරාට තරවටු කළේය.

“ලොකු ආච්චිනෙ දුන්නෙ.”

“පුතා ඉන්නවා, ප්‍රවෘත්තිවල.” නීලමනී බිම ඇණබාගෙනම මල්ලීගේ මුහුණ බලා කීවාය.

“හ්ම්.” සින්නතම්බි කීවේය.

ප්‍රවෘත්ති විකාශය වෙද්දී ආච්චිත් මුණුබුරාත් හමුදාවක ඔත්තුකාරියකත්, වෙඩික්කරුවකුත් සේ කුරුමානම් අල්ලාගෙන සිටියහ. මුණුබුරා සිටියේ දුරකථනයේ කැමරාව මානාගෙනය. මිත්තනිය වෙව්ලන දබරැඟිල්ල මානාගෙන ‘ඔන්න දැන්, තව ටිකකින්, තව චුට්ටයි,” ආදී වශයෙන් කොඳුරමින් උන්නාය. මෙය බලා සිටි මිණිබිරිය අතින් කට වසාගෙන සිනා නොවී සිටින්නට උත්සාහ කර, පසුව පූක් ගා කටින් වාතය පිට කරමින් කුස්සිය දෙසට දිව ගියාය.

පළමු ප්‍රවෘත්තිය ජනාධිපති උතුරේ කළ සංචාරයක් පිළිබඳවය.

“දැන් ගන්න.” මොහොතකින් ආච්චි කෑගෑවාය. මුණුබුරා ගත්තේය.

“පුතා.” ඇය ඡායාරූපයේ අපැහැදිලි රූපයක් පෙන්වමින් කීවාය.

“හ්ම්.” සින්නතම්බි කීවේය. “දැන් ගෙදර යන්න එපා. අද මෙහෙ ඉඳල යන්න.”

“බැහැ. හෙටම යන්න ඕනැ වවුනියා.” නීලමනී විදුලි පන්දම දල්වමින් නැගිට්ටාය.

“ලොකු ආච්චි, ඔය ෆෝන් එකේ ටෝච් එකකුත් තියෙනවා.” මුණුබුරා කීවේය.

“බැටරි බැස්සාම බලමු.” නීලමනී පරිස්සමට, හරස් අතට පඩි බසිමින් කීවාය.

“මේ එන්ජීඕකාරයෝ අක්කට හිත හදාගන්න දෙන්නෙ නැහැ.” සින්නතම්බි කීවේය.

“මගේ හිත හැදෙන්නෙ පුතා දැක්කම තමයි. පුතා ඉන්නවා. මං ටීවී එකෙනුත් දැක්කා.”

විශ්‍රාමික ගුරුවරියක වන, නීලමනී අම්මාගේ එකම පුතා ශාන්තන් අතුරුදහන් වූයේ 1990දීය. ඇය වසර 35ක් පුරා තම පුතා එනතුරු බලා සිටින්නීය. දුක දරාගත නොහැකිව ඇගේ සැමියා 1995දී හෘදයාබාධයකින් මිය ගියේය. පුතා සොයා ගැනීම සඳහා සම්පූර්ණ කාලය කැප කිරීම පිණිස ඇය ගුරු වෘත්තියෙන් ද කල්තබා විශ්‍රාම ලබාගත්තාය.

“මෙන්න, මගේ පුතා!” පසු දින නීලමනී වවුනියාවේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ උද්ඝෝෂණයේදී ප්‍රනාන්දුට ඇගේ දුරකථනයේ තිබූ ඡායාරූපය පෙන්වමින් විස්තරය කීවාය. ඇගේ වෙවුලන දබරැඟිල්ල යොමු වූයේ එහි ජනපතිවරයාගේ රුවට පසුබිමෙන් පෙනෙන ජනකාය අතරේ සිටි අයෙකුගේ අපැහැදිලි රුවක් වෙතය.

සංවිධානයේ කැඳවුම්කරු සහ රාජ්‍ය නොවන සංවිධාන නායකයකු වූ ප්‍රනාන්දුට ඇත්තටම දුක සිතිණි. “අම්මේ, ශාන්තන් අතුරුදහන් වුණේ කවදද?” ඔහු විමසුවේය.

“1990 ජූලි 10 වැනිදා උදේ 6ට. ගම වටලපු හමුදාව මෙගාෆෝන්වලින් කරපු නිවේදනය අනුව අපි හැමෝම ඉස්කෝලෙ පිට්ටනියට ගියා. එතැනදී තමයි මගේ 19 හැවිරිදි පුතා ශාන්තන්ව අත්අඩංගුවට අරගෙන බස් එකකට නග්ගගෙන අරගෙන ගියේ,” නීලමනී සිංහලෙන් කීවාය. ඇයට දැන් එය බොහෝ වර මාධ්‍යවලට කියා හොඳින් හුරුපුරුදුය. දෙමළෙන් මෙන්ම, ඉංග්‍රීසියෙන් ද අවශ්‍ය අයට ඇය සිය කතාව බොහෝ වර කියා ඇත. එය සිදු වී දැන් තිස්පස් වසරකි. අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ උද්ඝෝෂණය ආරම්භ වී ද දැන් වසර ගණනකි. දින ගණන දවසින් දවස අට්ටාලයේ ඇති පුවරුවක වෙනස් කෙරේ. දැන් එය දහස් ගණනකි. 

“ඔන්න ලොකු ආච්චි අම්මා එනවා. එයාට කියල ගණන් ටික හදාගන්න,” ලේලි රූපවාහිනියෙන් දෑස ඉවත් කර නොගෙනම කීවාය. නීලමනී පාසල්වල ගණිතය ඉගැන්නුවේ දශක තුනකට එපිටය. ඇය නුහුරු අතින් මුණුබුරාගේ පොතේ ගණන් හදාදෙන්නේ ළමා ප්‍රීතියකිනි.


“ඕව වැරදි වැඩ. ගුරුවරියන්ට වටින්නෙ නැහැ ඔහොම දේ කරන්න.” එවැනි ඇතැම් වෙලාවක මිණිබිරිය කියයි.


“අක්කා කාලද ඉන්නෙ?” නෑනා ඇසුවාය.


නීලමනී හිස වනමින් හෙමිහිට මුණුබුරා ළඟින් ඇනබා ගත්තාය.


“කුමන්ත්‍රණ.” මිණිබිරිය කීවාය.


“දැන් ටීවී එකේ ගිය ප්‍රවෘත්ති ආයෙ කීයටද යන්නෙ?” නීලමනී මුණුබුරාගෙන් ඇසුවාය.


ඔහු බිත්ති ඔර්ලෝසුව බලා “දහයට. ඇයි ලොකු ආච්චි?” යි ඇසීය.


“මට ඒකෙ පිංතූරයක් ගහල දෙනවද?”


“කාගෙද අක්කෙ?” නෑනා ඇසුවාය.


“කෑගහන්න එපා, පුතාගෙ.”


එහෙත්, කණ් ඇසීම අඩු ඇගේ හඬ උස් නිසා අඩු කරගත යුතු බව ඇයට වැටහුණේ එය කීවාට පසුවය.


“ඒ පාර මොකක්ද?” සින්නතම්බි පුටුවෙන් නැගිට, සුරුට්ටුව විසි කර, මිදුලට කෙළ ගසා, බඩ අතගාමින් සාලයට ආවේය.


“හදනවා ගණන්, ඔය ෆෝන් එක පැත්තකින් තියලා.” ඔහු මුණුබුරාට තරවටු කළේය.


“ලොකු ආච්චිනෙ දුන්නෙ.”


“පුතා ඉන්නවා, ප්‍රවෘත්තිවල.” නීලමනී බිම ඇණබාගෙනම මල්ලීගේ මුහුණ බලා කීවාය.


“හ්ම්.” සින්නතම්බි කීවේය.


ප්‍රවෘත්ති විකාශය වෙද්දී ආච්චිත් මුණුබුරාත් හමුදාවක ඔත්තුකාරියකත්, වෙඩික්කරුවකුත් සේ කුරුමානම් අල්ලාගෙන සිටියහ. මුණුබුරා සිටියේ දුරකථනයේ කැමරාව මානාගෙනය. මිත්තනිය වෙව්ලන දබරැඟිල්ල මානාගෙන ‘ඔන්න දැන්, තව ටිකකින්, තව චුට්ටයි,” ආදී වශයෙන් කොඳුරමින් උන්නාය. මෙය බලා සිටි මිණිබිරිය අතින් කට වසාගෙන සිනා නොවී සිටින්නට උත්සාහ කර, පසුව පූක් ගා කටින් වාතය පිට කරමින් කුස්සිය දෙසට දිව ගියාය.


පළමු ප්‍රවෘත්තිය ජනාධිපති උතුරේ කළ සංචාරයක් පිළිබඳවය.


“දැන් ගන්න.” මොහොතකින් ආච්චි කෑගෑවාය. මුණුබුරා ගත්තේය.


“පුතා.” ඇය ඡායාරූපයේ අපැහැදිලි රූපයක් පෙන්වමින් කීවාය.


“හ්ම්.” සින්නතම්බි කීවේය. “දැන් ගෙදර යන්න එපා. අද මෙහෙ ඉඳල යන්න.”


“බැහැ. හෙටම යන්න ඕනැ වවුනියා.” නීලමනී විදුලි පන්දම දල්වමින් නැගිට්ටාය.


“ලොකු ආච්චි, ඔය ෆෝන් එකේ ටෝච් එකකුත් තියෙනවා.” මුණුබුරා කීවේය.


“බැටරි බැස්සාම බලමු.” නීලමනී පරිස්සමට, හරස් අතට පඩි බසිමින් කීවාය.


“මේ එන්ජීඕකාරයෝ අක්කට හිත හදාගන්න දෙන්නෙ නැහැ.” සින්නතම්බි කීවේය.


“මගේ හිත හැදෙන්නෙ පුතා දැක්කම තමයි. පුතා ඉන්නවා. මං ටීවී එකෙනුත් දැක්කා.”


විශ්‍රාමික ගුරුවරියක වන, නීලමනී අම්මාගේ එකම පුතා ශාන්තන් අතුරුදහන් වූයේ 1990දීය. ඇය වසර 35ක් පුරා තම පුතා එනතුරු බලා සිටින්නීය. දුක දරාගත නොහැකිව ඇගේ සැමියා 1995දී හෘදයාබාධයකින් මිය ගියේය. පුතා සොයා ගැනීම සඳහා සම්පූර්ණ කාලය කැප කිරීම පිණිස ඇය ගුරු වෘත්තියෙන් ද කල්තබා විශ්‍රාම ලබාගත්තාය.


“මෙන්න, මගේ පුතා!” පසු දින නීලමනී වවුනියාවේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ උද්ඝෝෂණයේදී ප්‍රනාන්දුට ඇගේ දුරකථනයේ තිබූ ඡායාරූපය පෙන්වමින් විස්තරය කීවාය. ඇගේ වෙවුලන දබරැඟිල්ල යොමු වූයේ එහි ජනපතිවරයාගේ රුවට පසුබිමෙන් පෙනෙන ජනකාය අතරේ සිටි අයෙකුගේ අපැහැදිලි රුවක් වෙතය.


සංවිධානයේ කැඳවුම්කරු සහ රාජ්‍ය නොවන සංවිධාන නායකයකු වූ ප්‍රනාන්දුට ඇත්තටම දුක සිතිණි. “අම්මේ, ශාන්තන් අතුරුදහන් වුණේ කවදද?” ඔහු විමසුවේය.


“1990 ජූලි 10 වැනිදා උදේ 6ට. ගම වටලපු හමුදාව මෙගාෆෝන්වලින් කරපු නිවේදනය අනුව අපි හැමෝම ඉස්කෝලෙ පිට්ටනියට ගියා. එතැනදී තමයි මගේ 19 හැවිරිදි පුතා ශාන්තන්ව අත්අඩංගුවට අරගෙන බස් එකකට නග්ගගෙන අරගෙන ගියේ,” නීලමනී සිංහලෙන් කීවාය. ඇයට දැන් එය බොහෝ වර මාධ්‍යවලට කියා හොඳින් හුරුපුරුදුය. දෙමළෙන් මෙන්ම, ඉංග්‍රීසියෙන් ද අවශ්‍ය අයට ඇය සිය කතාව බොහෝ වර කියා ඇත. එය සිදු වී දැන් තිස්පස් වසරකි. අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ උද්ඝෝෂණය ආරම්භ වී ද දැන් වසර ගණනකි. දින ගණන දවසින් දවස අට්ටාලයේ ඇති පුවරුවක වෙනස් කෙරේ. දැන් එය දහස් ගණනකි. 

ඉන්පසු, රූපවාහිනී සහ යූටියුබ්කරුවෝ ද ඇය සොයා පැමිණ ඇගෙන් ප්‍රකාශ ලබාගත්හ. ඒවා විකාශය වූ බව ආරංචි වුව ද ඇය ඒ කිසිවක් දැක්කේ නැත. ඇය බලන්නේ සවස හතට යන ප්‍රවෘත්ති විකාශය පමණි. එය ද පුතු ගැන ආරංචියක් ලබාගැනීම සඳහා කරන ක්‍රියාවකි. අතුරුදහන් වූවන් ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව විමසන බව ඇය අසා ඇත. පුතා ගැන නිශ්චිත තොරතුරක් රූපවාහිනියෙන් දුටු පළමු අවස්ථාව එය විය.

දිනක් ඇයට කජන් නම් පුද්ගලයෙකුගෙන් ඇමතුමක් ලැබුණි. තමන් හිරෙන් නිදහස්ව ආ අයෙකු බවත්, ඇගේ පුතාව එළියට ගන්නට උදව් කරන්නට පුළුවන් බවත් ඔහු කීවේය.

කජන් ඇය සොයා ආවේය.

“පුතේ, මට ඔයා හරියට මගේ පුතා වගෙයි” නීලමනී අම්මා සෙනෙහසින් කීවාය. කජන් සැලුණේය.

“අම්මේ, මට දැන් අවුරුදු 30යි. මම කොහොමද අවුරුදු 35කට කලින් නැති වුණ ශාන්තන් පුතා  වගේ වෙන්නේ?” කජන් ඇසීය.

“අවුරුදු 35ක් ගියාට මට මගේ පුතාගේ මූණ හිතින් මවාගන්නට බැරිද? මට දැනෙනවා ඔයා මගේ පුතා වගේ කියලා.”

කජන් බොහෝ වෙලාවක් කල්පනාවේ නිමග්නව සිටියේය. අනතුරුව දුරකථන ඇමතුමක් ගත්තේය. යමක් මුණු මුණු ගෑවේය. “ඒ වුණාට….” යි ඔහු කීපවරක් කීවේය. ඇමතුම අවසන් කර තව බොහෝ වේලාවක් කල්පනා කරමින් සිටියේය.

නීලමනීගේ අබලන් පරණ මහගෙදර ඔහු ඉදිරියේ පරණ කැබිනට්ටුව මත මැළවෙමින් යන අද දැමූ සුදු මල් මාලා පැළඳි කළු සුදු ඡායාරූප දෙකකි. එකක්, මැදි වියේ දුක්බර පෙනුමක් ඇති මිනිසකුගේය. අනෙක, සුදු අහසක් පසුබිමේ මුව පුරා සිනාසෙමින් කොඩියක් අතින් ගෙන සිටින තරුණයකුගේ පහත සිට මෑනූ කැමරාවකින් ගත් ඡායාරූපයකි. ඔහුගේ වයස අවුරුදු විස්සක් පමණ ඇතැයි කජන්ට සිතිණි.

“ශාන්තන්ට කොහොමද?” නීලමනී අම්මා ඇසුවාය.

“ලොකු ප්‍රශ්නයක් නැහැ.” කජන් කීවේ බොහෝ වෙලාවක් කල්පනා කිරීමෙන් පසුය.

නීලමනී දුක්මුසු ලෙස හිනා වුණාය.

“කවදද මට පුතා හමුවෙන්නෙ?”

කජන් නැගිට්ටේය.

“ඇයි යන්නෙ?” නීලමනී ඔහුගේ උරහිසින් අල්ලා වාඩි කරවන්නට තැත් කළාය. “මතකද මං කියන දේ අහන්නෙ නැතුව රැස්වීම්වලට ගිහින් අන්තිමට වුණ දේ. ඒකට කමක් නැහැ. දැන් ඉතින් ඒ ඔක්කොම ඉවරයි.”

කජන්ට ඔහුගේ මව සිහි විය. ඔහුගේ පවුලේ සියලු දෙනා යුද්ධයෙන් මිය ගිය බව ඔහු සිතයි. ඒ සියලු දෙනාම සංවිධානයට හිතවත් අයයි. අයියා කොළඹදී මිය ගිය පසු ඔවුන් මහවිරු පවුලක්ව සිටියහ. යුද්ධයේ අවසානයෙන් පසු ඔහුට ඔවුන් ගැන තොරතුරක් නොලැබිණි. ඔහු හමුදා අත්අඩංගුවට පත්වන්නේ ඊට බොහෝ කලකට පෙර යුද්ධයෙන් තුවාල ලබා සිහි නැතුව සිටියදීය.

ඔහුට විරුද්ධව නඩුවක් පැවරිණි. ඔහු අවුරුදු 15ක්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රිමාන්ඩ් භාරයේ සිටියේය. අවසානයේදී ඔහු පුනරුත්ථාපනය කර නිදහස් කරන ලදී. දැන් ඔහුට අවශ්‍ය කැනඩාවට හෝ යුරෝපයට පැනගන්නටය. සංවිධානයට සම්බන්ධව සිටි පැරණි මිතුරෙකු ඔහුට උපකාර කරයි. එහෙත්, ඔහු මුදල් ටිකක් සොයාගත යුතුය. කරන්නට බොහෝ දේ ඇත. උප්පැන්න සහතිකයේ සිට සියල්ල අලුතෙන් සොයාගත යුතුය. හිටපු සටන්කරුවකුට ඒ කිසිවක් ලෙහෙසි පහසු නැත. හැඳුනුම්පතක් සකසා ගත යුතුය. ගමන් බලපත්‍රයක් ලබාගත යුතුය. දේශපාලන රැකවරණ ගන්නට හෝ මුලින් ඒ රටකට යා යුතුය. වීසා ලබාගන්නට අනුග්‍රහයක් සොයාගත හැකි වුවත්, ගුවන් ටිකට්පත් ගන්නටත්, අනෙකුත් දේටත් මුදල් අවශ්‍යය.

“ඕනෑවට වඩා හිතන්න එපා. එයා ළඟ සල්ලි තියෙනවා. එයාට මහත්තයාගෙත් පැන්ෂන් පඩිය හම්බ වෙනවා,” දුරකථන ඇමතුමේ අනෙක් පැත්තෙන් කියා තිබිණි.

“කවදද ශාන්තන් මට මුණගස්වන්නෙ. මගෙ පුතා මාත් එක්ක තරහ ඇති මං හෙව්වෙ නැහැ කියලා. එයාට කියන්න අපි කීපාරක් අතනින් මෙතනට අවතැන් වුණාද කියලා. එයා තේරුම් ගනියි,” නීලමනී අම්මා කියාගෙන ගියාය.

“හමුවෙන්න ක්‍රමයක් හදාගෙන මං ආපහු එන්නම්.” කජන් නිවසින් එළියට බැස පියවර කීපයක් තබා පොළව බදාගෙන වැතිර සිටි ඇත්අඩි පඳුරක් පාගාගෙන සුදු වැලි මත නැවතුණේය. “අම්මා ගාව සල්ලි තියෙනවද?” ඔහු තල් ගසක මුදුන වෙත නෙත රඳවාගෙන ඇසීය.

ඔහු සල්ලි ගත්තේද ඇගේ මුහුණ නොබලාය. ඔහුට ඕනෑ වුණේ නැවත නොඑන්නටය.

ඇත්තෙන්ම ඇය ළඟ සල්ලි තිබිණි. ඒ සියල්ලත්, ණයට ගත හැකි සියල්ලත්, මල්ලීගෙන් ඉල්ලා ගත හැකි දෙයක් තිබේ නම් එයත් පුතු වෙනුවෙන් වියදම් කරන්නට තියෙන මුදල් යයි ඇයට සිතිණි. ඔහු ආපසු එන විට නිවස පමණක් තිබුණාම ඇතිය. ඔහු කුමන තත්වයේ සිටියත්, ඇය නැතත්, ඇගේ මල්ලීගේ පවුල හෝ ඔහු කිසිදා දැක නැති මුණුබුරා හෝ මාමා රැකබලාගනු ඇත.    

ආපසු නොඑමියි සිතාගෙන ගියත්, කජන් ආපසු පැමිණියේය. නැවත නැවත පැමිණියේය.

ඔහුගේ දුරකථනයට ඇමතූ කජන්ගේ මිතුරා නීලමනී අම්මාට කතා කර ඇගේ බලාපොරොත්තුවේ පහනට තෙල් දැමුවේය. ඇය ඒ වෙනුවෙන් කජන්ට මුදල් දුන්නාය.

වරක් කජන්ගේ දුරකථනයට කතා කරන ඔහුගේ මිතුරා කීවේ ශාන්තන්ට අසනීප නිසා හමුවීම තව දින කීපයක් පමා වෙන බවයි. එදා ශාන්තන් තිස්පස් වසරකට පසු ඇය ඇමතුවාය. ඔහුගේ කටහඬ අපැහැදිලි හා වෙව්ලනසුළු විය. “මට ටිකක් අසනීපයි. ඉක්මනින් සනීප වෙයි. මං අම්මට කතා කරන්නම්. මට ෆෝන් එකක් ගන්න කජන් අතේ සල්ලි එවන්න.”

“මේ ෆෝන් එක මට දැන් වැඩක් නැහැ. මට පුතා හමු වුණානෙ. ඒ නිසා මේ ෆෝන් එක ශාන්තන්ට ගෙනිහින් දෙන්න,” නීලමනි ඇගේ දුරකථනය කජන් අත තබමින් කීවාය.

“එතකොට ශාන්තන් අම්මට කතා කරන්නෙ කොහොමද?”

“ආ, ඒක මොකක්ද? පුතා නිතර මෙහෙ එන්න. ඕනැ නම්, මෙහෙ නතර වෙලා ඉන්න. මගේ පුතා කතා කරනකොට මට ෆෝන් එක දෙන්න,” නීලමනී කීවේ සතුටිනි.

“අම්මාට විශ්වාසද ඒ ශාන්තන්මය කියලා?” කජන් ඇසුවේ කණස්සලු හඬකිනි.

“මම අම්මා කෙනෙක්. අවුරුදු 35ක් ගියත් මට මගේ පුතාගෙ කටහඬ අඳුරගන්න බැරිද? එයා අම්මා කියනවා මට හැමදාමත් මේ ගේ ඇතුළෙ ඇහෙනවා.”

කජන් නිතිපතා එහි ආවේය. පුතා නිදහස් කරගැනීමේ අවසන් අදියර සඳහා විශාල වශයෙන් මුදල් අවශ්‍ය විය. දිය යුතු මිල ගණන් පුතාම කජන්ගේ දුරකථනයට කතා කර කීවේය. කජන් ඒවා රැගෙන ගියේය.

කජන්ගේ වීසා සූදානම් විය. ගුවන් යානයට නඟින්නට පෙර අවසන් දින රාත්‍රියේ කජන් නීලමනී අම්මා හමුවී තමා කළ වංචාව පාපොච්චාරණය කළේය.

“පුතේ, මම ඒක දන්නවා” නීලමනී අම්මා ඔහුගේ හිස අතගෑවාය. “කවදාවත් මට ශාන්තන්ව මුණගැහෙන්නේ නැති බව මගේ හිත දන්නවා. ඒ වුණාට මට ඔයා මුණගැහුණනෙ. ඔයා ශාන්තන් වගේ නෙමෙයි. ඒ වුණත් ශාන්තනුත් ඔහොම තමයි.”

කජන් කම්පාවට පත් විය. ඔහු ඇගේ දෙපා මුල වැඳ වැටුණේය. “මට සමාවෙන්න අම්මා. මං හෙට ලංකාවෙන් යනවා.”

නීලමනී අම්මා පහත් වී ඔහු නැගිටුවමින්, වින්ද දුක් වේදනා හමුවේ කෙස්ස අඩු වෙමින්, තට්ටය පෑදෙමින් තිබුණු ඔහුගේ හිස් මුදුන සිප ගත්තාය. ඇය තම අතේ තිබූ ඇය මෙතෙක් රැකගත් ඇගේ විවාහ මුදුව ගලවා කජන් අත තැබුවාය. “මේ මගේ ඉතිරි වෙලා තියෙන අන්තිම වටිනාම දේ. මේක අරගෙන යන්න.”

කජන් මුදුව දෙස නොව ඇගේ දෙනෙත දෙස එක එල්ලේ බැලුවේය. ඔහුගේ නෙත කඳුළින් පිරී තිබිණි. සංවිධානයට බැඳුණු පසු කවදාවත් හඬා නැති ඔහුට පොඩි දරුවකු සේ හඬන්නට උවමනා විය. ඔහු ඇය වැළඳගෙන ඇගේ උරෙහි හිස තබාගත්තේය.  

ඔහු පිටත්ව ගියේය. පසුදා උදෑසන නිවස තුළින් නීලමනී අම්මාගේ නිසල දේහය හමු විය.

ඇය අතුරුදහන් වූවන් සොයා උද්ඝෝෂණය කරන අතරතුර මිය ගිය 359 වැනි ඥාතියා ලෙස පුවත්පත් වාර්තා කළහ.


https://praja.lk/art/359-%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b6%b8%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba-%e0%b6%9a%e0%b7%99%e0%b6%a7%e0%b7%92-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f/

Nissanka Rajapaksa

unread,
Oct 18, 2025, 12:24:29 AM10/18/25
to INDRAKA group
34

පිරිත් කියනවා මිනිත් මරනවා


- අජිත් පැරකුම් ජයසිංහ 

මේ කතාවේ මාතෘකාවට දාලා තියෙන වදන් ටික මගෙ හිතට ආවෙ නෑබඩ සිල්වතා හින්දා. උන්දැ මගේ ලෝකෙ ඉතිරි වුණේ මං කලින් බැඳල හිටපු ඉන්දිකා හින්දා. 

මේ පද ටික දාලා කවියක් හරි සිංදුවක් හරි ලියන්න දැන් වුණත් පුළුවන්. ආගම් විරෝධීන්, ලිබරල්වාදීන්, වාමාංශිකයන්, දෙමළ ජාතිකවාදීන්, ඉස්ලාම් අන්තවාදීන් ඒකෙන් සතුටු වේවි. සිංහල කට්ටිය අතරෙ කොහොමත් අපට ජනප්‍රිය වෙන්න බැහැනෙ. අයිසීසීපීආර් එක යටතෙ පැමිණිලි කළොත් ලෙඩක් හැබැයි. ඇප ගන්න බැරුව ගොඩක් කල් රිමාන්ඩ් ඉන්න වෙනවා. ඒ නිසා තමයි මං ඉතුරු පද ටික සම්පූර්ණ කරලා ඒක ෆේස්බුක් දැම්මෙ නැත්තෙ.

“මට ඔය කවි ලියන වේසිගෙ පුතාලයි, කවියි දෙකම පෙන්නන්න බැහැ,” ඉන්දිකා ඉස්සර කියනවා. “කවි ලියන අනෙක් එවුනුත් තමුසෙ වගේ ඇති.”

ඉන්දිකා මාව බැන්දෙ කලාව නිසා. මං ඉන්දිකාව බැන්දෙ සල්ලි නිසා. ඒ කාලෙ මට යන එන මං නැතුව හිටියෙ. දැන්නම් දෙයියනේ කියලා මට ඉන්දිකාගෙ සල්ලි ඕනැම නැහැ. ඉන්දිකා ඕනැත් නැහැ. 

මට ඉන්දිකාගෙන් කිසිම සතුටක් නැහැ. එයා ලස්සනයි. ටිකක් මහතයි. පයෝධර එහෙම ගොඩක් ලොකුයි. එච්චර ලොකු ඒවට මං ආස නැහැ. එයා සුදුයි. මේකප් කරලා, ලස්සනට ඇඳලා පාරට බහිනකොට හතළිහ පැනල තියෙද්දිත් කොල්ලන් එයා දිහා බලනවා. ඒ වුණාට ඒ වෙනකොට මට එයා ගැන ආසාවක් තිබුණෙ නැහැ.

සුමුදු එහෙම නෙමෙයි. එයා බැලූ බැල්මට ගොඩක් ලස්සන නැහැ. ඒත් ආකර්ශනීයයි. ඒ ආකර්ශනය තියෙන්නෙ සුමුදුගේ සමස්තයේ. ඒකට රූපය, සුවඳ, ඉරියව්, හිනාව, බලන විදිය, ගමන බිමන, කතාබහ, ආදරය කරන විදිය, ලිංගික සැප ආදී ඔක්කොම අයිතියි. සුමුදු නලමුදු සුවඳක් වගේ කියලා කවියක් ලියන්න මං හිතාගෙන ඉන්නවා. ඒත් ලියවුණේ නැහැ. සුමුදු දැන් මගේ නිසා ඉතින් කවියෙන් වර්ණනා කරන්නත් දෙයක් නැහැ වගේ. අපි ෆේස්බුක් එකෙන් හමුවුණ මුල් දවස්වල ඔය වගේ කල්පනාවක් ආව නම්, මං ඉතින් රස්සාවටත් නොගිහින් තමයි කවි ලියන්නෙ. සුමුදුට ලියපු කවිය එහෙනම් මං බූස්ට් කරනවා. ලයික් ටෙන් කේයි, ෂෙයාස් වන් කේයි වෙන්න. 

මට සුමුදු නැතුව බැහැ. ඒ නිසා තමයි ඉන්දිකා ඇතුව බැරිවුණේ. කා එක්ක වුණත් එකට ඉන්න බැරි නම්, අපි වෙන්වෙන්න ඕනැ. මේ නඩු මෙච්චර කල් ඇදගන්නෙ නැතුව විසඳගන්න තිබුණා. ඒ දවස්වල කිව්වෙ නම් කොහොමද? ඔයාට මාව එපා නම් එක දවසක්වත් මා එක්ක ඉන්න ඕනැ නැහැ බබා. මට වැදගත් ආදරේ මිසක් කසාද සහතිකේ නෙමෙයි අරව මේවා. ඒ කාලෙ එයත් කවි ලියන්න උත්සාහ කරමින් හිටියෙ. මං ඒවා සෑහෙන්න අගය කළා. හැබැයි, පෞද්ගලිකව නම් මං හිතන්නෙ ඒව හරියට අර ත්‍රීවීල්වල පිටිපස්සෙ ලියල තියෙන පාඨ වගේ කියලායි. ආලය බීඩියකි; එය උරන්නා මෝඩයෙකි.

මට නෑබඩ සිල්වතාව මුණගැසුණෙ සුමල් රෝහිතගෙ ගෙදරදි. එදා එහෙ ගිහි පිරිතක්. නෑබඩ සිල්වතා තමයි පිරිත් කණ්ඩායමේ නායකයා. සුමල් රෝහිත පිරිතක් කිව්වෙ ඉඩං නඩුවක් අහවර කරගෙන ගෙයක් හදපු ප්‍රීතිය සමරන්න. සුමල්ගෙ තාත්තගෙ ඉඩමට බාප්පා එක්ක නඩුවක් තිබුණා. පස්සෙ බාප්පා ඇක්සිඩන්ට් එකක් වෙලා මළා. හිට් ඇන් රන්. හැන්දෑවෙ කඩේට ගිහින් සිගරැට් අරන් එනකොටයි හැපුණේ. හප්පපු කාරෙක පැනල යන සීසීටීවී දර්ශන දෙරණෙත් පෙන්නුවා. ඒ වුණාට අහුවුණේ නැහැ. 

සුමල්ගෙ දුකට, සැපට ඕනැ එකකට මං තමයි. මටත් සුමල් තමයි. අපි අද ආර්ථිකව මෙහෙම ඉන්නෙ සුමල්ව මට හඳුන්වාදුන්න චමල් නිසා. චමල් දැන් හිරේ. අපි දැනුත් ඌ ගැන බලනවා. විසිට් නම් යන්නෙ නැහැ. ඌ එනකල් උගෙ අම්මව නඩත්තු කරන්නෙ අපි. ඒව යුතුකම්. අපි දැන් බිස්නස්වලින් දියුණු වෙලා තිබෙන තරම අනුව චමල් ආපු කාලෙක මොනව හරි පිළිවෙලක් කරලා දෙනවා. ඌට කෙළවුණාට අපට එහෙම වුණේ නැහැනෙ. ඒක අවාසනාව. 

හැබැයි, චමල් වුණත් ගානට ඉන්න දැනගන්න ඕනැ. නැතිනම් ඇක්සිඩන්ට් වෙන්න වුණත් පුළුවන්. 

පිරිත් කණ්ඩායම ආටානාටිය කියනවා. කණ්ඩායමේ නායකයා හොඳට උච්චාරණය කරලා සද්දෙට සජ්ජායනා කරනවා. අපි දෙන්නා ආයෙමත් වෙනම සෙට්වුණා සුමල් රෝහිතගෙ කාමරේ. අපේ පවුල් ප්‍රශ්න කතාකරන අතරෙ තමයි මට හිතුනෙ ඉන්දිකා ඇක්සිඩන්ට් වුණා නම් මායි සුමුදුයි ගොඩ නේද කියලා. 

“එච්චරම තිත්තද?” සුමල් රෝහිත ඇහුවා. මං ඌට එක නමක් වෙනුවට නම් දෙකම කියන්න යොමුවුණේ ඇයි? ඌට අනෙක් අයත් එහෙම තමයි කියන්නෙ. මෙච්චර සමීප මං වුනත් සුමලා හරි සුම්මා හරි කියන්නෙ නැතුව සුමල් රෝහිත කියලාම කියනවා. ජීවිතේ හරි පුදුමයි නේද? 

“මචං, මං උඹ වෙනුවෙන් ඕනැ දෙයක් කරනවා. හැබැයි, මට දැනගන්න ඕනැ උඹ එක හිතින්ද කියන්නෙ කියලා. එකට බුදියගත්ත ගෑනිනෙ.”

එකට බුදියගත්ත හැටි අපිනෙ දන්නෙ. මට නම්, ඒ සරීර කූඩුව කුණපයක් වගේ ඒ වෙනකොට. මස් පර්වතේ දැකල තිබුණෙත් නැහැ ගොඩක් කාලෙකින්. ඉස්සර වුණත් එයාට දවස් කීයද මොකක් හරි ලෙඩක් නොතිබුණෙ? හාවා හඳ දැකපු ඒ වගේ රෑවල වුණත් එයා වහලේ උළු ගැන්නා. උළු නොපෙනෙන අලුත් ගෙදර සුදු සීලිම වගේ එයා හිස්ම හිස්. හැබැයි ඉතින් කට අවුස්සගත්තොත් නම් ඉතින් සීලිමත් ගලවගෙන උළුත් උඩ යයි. 

“මං තමුසෙට දික්කසාදෙ ගන්න ඉඩ තියන්නෙ නැහැ.”

“ඒකෙන් තමුසෙට වැඩකුත් නැහැ. මට වැඩකුත් නැහැ.”

“මට කොහොමත් වැඩක් නැහැ.”

“මට වැඩකුත් නැහැ. අඩුගානෙ දරුවෙක්වත් දෙන්න තමුසෙට පුළුවන් වුණාද?” මං ඒක කියලා හිතෙන් ‘වඳ වේසි’ කිව්වා. 

ටික වෙලාවක් නිහැඬියාව. ඉන්පසු ඇඬියාව. මළ අඳෝනාව.

“තමුසෙ හිතන් ඇති මාව අතෑරලා අර සක්කරවට්ටම බැඳගෙන තරාදි පඩි සෙට්ටෙක වගේ ළමයි හදන්න.”

“මට බැරි නැහැ ඕයි.”

“ඒ වුණාට තමුසෙට ඒක කරන්න ලැබෙන්නෙ නැහැ. තමුසෙට වන්දි ගෙවන්න සල්ලි තිබුණට මගෙ ජීවිතෙන් අරගත්ත දේවල් කාටවත් මිල කරන්න බැහැ.”

පාන්දර දෙකට විතර නෑබඩ සිල්වතා සන්සුන් ගමනින් කාමරේට ආවා. එයාගෙ ගෝලයන් පිරිත් කිව්වා. සුමල් රෝහිතගෙ ඇඳේ හාන්සි වෙලා හිටපු මං ගෞරවේට නැගිට්ටා. 

නෑබඩ සිල්වතා කතා නැතුව කට කපලා බ්‍රැන්ඩි වීදුරු දෙකක් ෂැන්ඩි නැතුවම දාගත්තා. එක නිමේෂයකටවත් මුහුණෙ මාංශ පේශි තිත්ත නිසා ඇඹරුණේ නැහැ. බයිට් එකට තිබුණ ගෝනමස් දිහා නෑබඩ සිල්වතා ඇස් ඇරලාවත් බැලුවෙ නැහැ.

“මං මස්, මාළු කන්නෙ නැහැ. එළවළු විතරයි දැන් අවුරුදු දහයක විතර ඉඳන්.”

“චිප්ස් ටිකක් දෙන්නද?” සුමල් රෝහිත ඇහුවා. 

“එපා. සිගරැට්ටෙකක් බොමු.”

“පාසක මහත්තයව මට හම්බුණේ හිරේදි,” සුමල් රෝහිතත් සිගරැට්ටෙකක් පත්තු කරගෙන පෙට්ටිය මා දිහාවට විසි කළා. මට පොඩි ඔලුවෙ කැක්කුමක් වගේ එකක් තිබුණා. මං සිගරැට් පෙට්ටිය එහෙමම ඇඳ උඩට වැටෙන්නට ඇරියා. කමිසෙ ගලවන්න තිබුණ නම් හොඳයි කියලා හිතුණත් සිල්වත් තැන ඉදිරියෙ එහෙම කරන එක හොඳ නැතිය කියල හිතුණ නිසා ඒසී එකේ රිමෝට් එක අරගෙන සෙල්සියස් 16ට උෂ්ණත්වය අඩු කළා. 

“මට පීනසේ තියෙනවා,” නෑබඩ සිල්වතා කිව්වා. “මහත්තයලා ඉන්න. මං ඉක්මණින් යන්නං.”

නිහැඬියාවක්. නෑබඩ සිල්වතා පුටුවෙ සන්සුන් ඉරියව්වෙන් වාඩිවෙලා බිම බලාගෙන දුම් උරමින් පිරිත් ඇහුවා. මූණෙ තිබුණෙ පුදුම ශාන්තකමක්. ස්ථාවර හිනාවක් දෙතොලෙ රැඳිලා තිබුණා. ඒක හරිම සන්සුන් හිනාවක්. කළුයි සුදුයි කෙස් සමෝසමේට පැතිරුණු කොණ්ඩෙ හොඳටම කොටට කපලා. රැවුලත් අද හවස පිරිතට එන්න කලින් වගේ සම්පූර්ණයෙන්ම බාලා. තොල උඩ හීනියට දාඩිය වගේ තෙතක් දිලිසුණා. ඒක අතීත දුක් කම්කටොලුවල සීරුම් කැළැල් මැකී යමින්, එළිය වැටෙමින් තිබෙන මුහුණක්. බිම බලාගෙන ඉන්නකොට හරියට යූටියුබර් ඩිනෝ කොරයා නාකි වෙලා වගේ. වැදගත්කම බේරෙනවා.

“වැඩක් තියෙනවා,” සුමල් රෝහිත කිව්වා. “මේ මහත්තයා මගේ බොක්කක්.” 

නෑබඩ සිල්වතා බිම බලාගෙන හිස දෙපසට වැනුවා. සිගරැට්ටුව ෆිල්ටරේ ළඟටම උරා අවසන් කරලා ඈෂ් ට්‍රේ එකට එබුවා. 

“මං නෝට් කරගත්තා හිතේ. වෙන දවසක කතාකරමු. මේ හොඳ දවසෙ මහත්තයලාත් එන්න පිරිත් අහන්න. දැන් එළිවෙන්න කිට්ටුයි,” කියූ නෑබඩ සිල්වතා නැගිටලා එළියට ගියා.

“ඔයා මොනවද පොතකුත් පපුව උඩ තියොගෙන කල්පනා කරන්නෙ?” සුමුදු ලයිට් නිවලා ඇවිත් ඇඳේ වාඩිවෙලා පනාවකින් හිස පීරුවා. සුදුපාට තිර රෙදිවලින් පෙරිලා ගාඩන් එකේ ඉඳන් ආපු එළියෙන් ඇගේ සිරුරේ හැඩතල ලස්සනට මතුවෙලා පෙනුණා. මට ඒ තැන් දෙතොලින් ස්පර්ශ කරන්න හිතුණා. තව ටිකකින් පුළුවන් වෙයි. 

මං හේත්තු වෙලා හිටපු ඇඳ විට්ටම දිගේ කොට්ටෙත් රූටාගෙන පහළට ඇදී ඇවිත් හාන්සි වුණා. වහල දිහා බලනකොට මට ආයෙමත් ඉන්දිකා මතක් වුණා. එයා හිස් බැල්මෙන් අඩ අඳුරේ මේ සුදු සීලිමේ හැම විස්තරයක්ම කියවන්න ඇති, හරියට චිත්‍රයක් නරඹනවා වගේ. මට සුසුමක් පිටවුණා.

“ඇයි වස්තුවේ මේ?” සුමුදු මා ළඟින් වැතිරිලා මූණ දිහා බලාගෙන ඇහුවා. 

“මොකුත් නැහැ.” මං කිව්වා. 

“එහෙම වෙන්නෙ කොහොමද? මොනවහරි තියෙනවා.”

“මට මං කියවපු පොතක කෙටි කතාවක් මතක් වුණා.” 

“මට ඒකෙ කතාව කියන්න.” සුමුදු කවදාවත් පොත් කියවන්නෙ නැහැ. අපි හමුවුණේ පොත් දොරට වැඩුමකදි නෙමෙයි. 

“මට කතාව හරියට මතක නැහැ. නම නම් මතකයි.”

“මොකක්ද?”

“හඳ සාක්කි කීම. මං හිතන්නෙ මාටින් වික්‍රමසිංහද කොහෙද ලිව්වෙ.”

“පොත් ගුල්ලා.” සුමුදු මගෙ පපුව උඩ තිබුණු මං අලුතෙන් ලියා පළ කළ කවිපොත බෙඩ්සයිඩ් ටේබල් එක උඩින් තියලා මගේ පපුවේ රෝම අතරින් ඇගේ සිහින් දිගු ඇඟිලිතුඩු යැව්වා. ඒ සිනිඳුකම මගේ පපුව තුළටම කිඳාබැස්සා. 

මට නෑබඩ සිල්වතාව අවසන් වරට හමුවුණේ එයාගෙ උපදේශන කාර්යාලයේදියි. ඒ දවස්වල නෑබඩ සිල්වතා පදනම් ආයතනයේ උපදේශන ඩිප්ලෝමාවකුත් හදාරමිනුයි හිටියෙ. 

ඒක ඔහුගේ නිවසේ ඉදිරිපස කාමරය. ඒක ඉඩකඩ තිබෙන කුටියක්. ඔහුගේ ලියන මේසයත්, නිල්පාට සුවපහසු කැරකෙන පුටුවත්, අමුත්තන් වාඩිවෙන පුටු දෙකත්, තවත් සෝපාවකුත් හැර මුළු කාමරයටම තිබුණෙ බිත්තියේ එල්ලා තිබුණු කඳුකර පසුබිමක ලස්සන විලක දියසායම් චිත්‍රයක් විතරයි. සම්පූර්ණයෙන්ම වගේ හිස් මේසෙ උඩ පරණ තාලෙ කාර්යාල සීනුව ළඟ පීරිසියක අලුත් ඇට්ටේරියා මල් අහුරක් සුවඳ හමමින් තිබුණා. සුදුපාට තිර රෙදි අතරින් උදෑසන හිරු එළිය ගලා ආවා. කුරුල්ලන්වත් කෑගැහුවෙ නැහැ. ඒක පුදුම නිස්කලංක තැනක්. 

“පවුල් ආරාවුල් විසඳාගන්නට එක එක ක්‍රම තියෙනවා. සමහර ඒවා අඩු වියදම්. සමහර ඒවාට මිල ගොඩක් ඉහළයි. මං උපදේශනය කරන්නෙ නොමිලෙ. ඒක මගේ සමාජ සේවය. මහත්තයා මට හිතේ තියෙන ඔක්කොම කරදර කියන්න. අපි සරල විසඳුමක් හොයමු. ඒව හරියන්නෙ නැතිනම්, මහත්තයට ගොඩක් වියදම් කරන්න වේවි. මං ප්‍රාර්ථනා කරනවා අපට එච්චර දුර යන්න ඕනැ වෙන එකක් නැහැ කියලා. ඒත්, යන්නම වෙනවා කියලා මහත්තයා මට ඒත්තුගැන්නුවොත්, අපට වැඩි වියදම් විසඳුමකට යන්න වේවි. තීරණය මහත්තයා අතේ. මං කතාකරන්නෙ එච්චරයි. දැන් මහත්තයා කතාකරන්න. මං අහගෙන ඉන්නම්”

“මට වතුර වීදුරුවක් දෙන්න පුළුවන්ද?” මං ඇහුවා.

“සුළු දෙයක්.” ඔහු මේසය මත තිබුණු සීනුව නාද කළා.

Nissanka Rajapaksa

unread,
Oct 26, 2025, 7:39:08 PM10/26/25
to INDRAKA group
35
අහිමි වූ තාත්තා 

ජපන් ලේඛක වතනාබේ ඔන් ගේ “Losing My Father” කෙටිකතාවේ සිංහල පරිවර්තනය

පරිවර්තනය රසිත ජයවීර

එදා ඒ උදයේ මම නින්දෙන් ඇහැරෙන විට තාත්තා මගේ ඇඳ ළඟ සිට සිය රැවුල බාමින් සිටියේය. මට මතක ඇති කාලයක ඔහු රැවුල කපා තිබුණේ නැත. උදෑසන සිහිල් සුළං රැල්ලෙන් ඈත් මෑත් වූ ජනෙල් රෙදි අතරින් ගෙට ආ පැහැපත් මෘදු හිරු රැසින් තාත්තාගේ මුහුණ ඔපවත් වී තිබුණි. පුංචි කුරුල්ලන්ගේ හීනි කිචිබිචිය අවටින් ඇසෙන්නට විය.

“අද හොඳ දවසක් නේද තාත්තේ?”, මම ඇඳේම සිට ඔහු දෙස බලමින් ඇසුවෙමි.

“හ්ම්…හොඳ දවසක්…!!! මම අද ඔයාව වරාය බලන්න එක්කගෙන යනවා ඉක්මනට ලෑස්ති වෙන්න කෝ”, ඔහු මුහුණේ වූ අවසන් රැවුල් ගස් කිහිපයද ප්‍රවේශමින් බාමින් කීවේය.

“ඒ කිව්වේ…??? හරි ෂෝක්…!!!” “ඒත් ඇයි තාත්තේ ඔයා රැවුල කපන්නේ…???”

“මගේ රැවුල තියෙනකොට මාව පේන්නේ ඔයාගේ තාත්තා වගේ ඔයාට එහෙම හිතෙන්නේ නැද්ද…???” ඇඟිල්ලෙන් දිව මදින ගමන් ම ඔහු මා දෙස බලමින් ඇසුවේය.

“ඔයා මොනවා ගැනද කියන්නේ මට තේරෙන්නේ නෑ…!!!”

“ඒ කිව්වේ මම රැවුල කපා ගත්තහම තාත්තා කෙනෙකුට වඩා අඩු වයසක් මට පෙනෙයි… ඒක නෙවේ මම කල්පනා කළේ අද ඔයාව වරායට එක්ක ගිහින් එහෙ දාලා එන්න, හොඳ නැද්ද…??? හග්හා” ඔහු සිනාසෙමින් කීවේය.

“බොරු කියන්න එපා” මම ඇදෙන් බිමට පනිමින් කීවෙමි.

හනිහනිකට පැලැනල් ඇඳුමක් මට ඇන්දූ තාත්තා ඉන්පෙර කිසිදිනෙක මා දැක නැති අන්දමේ සුවඳ හමන, අපූරු පිදුරු තොප්පියක් ද මා හිස පළඳා රතු ටයි පටියක් ද ගෙල බැන්දේය. අනතුරුව අපි ගෙදරින් එළියට බැසීමු. ඒ ග්‍රීෂ්ම උදෑසන දම් පාට හා රෝස පාට ගැන්වූ අහස් වියන් යට වූ ගෙවල් තුළට වැදී මිනිසුන් තවමත් සුව නින්දේ පසුවූහ. තාත්තා ද මම ද අත්හැර දැමූ මහමග ඔස්සේ දුම්‍රියපොළ දෙසට ගියෙමු. ඒ ගමනේදී තාත්තා සිය දිගු සැරයැටිය තමා වටේම කරකවමින් ගියේ අපූරු තාලයකට ය.

“මම හිතන්නේ අපට කාගෙවත් පස්සේ යන්න ඕනේ වෙන එකක් නෑ…” ඔහු ඔහුට ම කියාගත්තේය.

“ඇයි…???” මම ඇසුවෙමි. ඒත් ඔහු මා හා කතා කළේ නැත. ඔහු ගියේ තනිවම කතාකරමිනි.

“මේ කොල්ලා තමා කරදරේ… අවුරුදු දහයක් වෙන්වෙලා හිටපු තාත්තෙකුයි පුතෙකුයි. අනේ කොල්ලෝ මට මේ හැමදේම එපා වෙලා දැන්…”

“ඇයි…???” මම නැවතත් ඔහුගේ මුහුණට එබෙමින් ඇසුවෙමි. කිසිවක් නොකියූ ඔහු සිනාසුණේය. මා කියන දෙය නෑසෙන ගාණනට මහ හයියෙන් සිනාසුණේය. මගේ සිත අවුල් විය. කිසිවක් සිතාගැනීමට නොහැකිය. මම ඔහු අසලට යෑමට උත්සාහ කළද මා ගැන තැකීමක් නොකළ ඔහු මා ඉවතට තල්ලු කළේය. ඉන්පසු මඳක් මා දෙස බලාසිටි ඔහු මෘදු ස්වරයෙන් මෙසේ කීය.

“ඉක්මන් කරන්න. තවත් ළංවුණොත් මිනිස්සු හිතයි අපි දෙන්නා සහෝදරයෝ කියලා. එහෙම වෙන්න බෑ…” මම කේන්තිය ද මුසු වූ රවාගත් බැල්මෙන් රැවුල බා ඔපවත්ව ඇති ඔහුගේ මුහුණ හා රතු ටයි පටිය දෙස හිස හරවා බැලුවෙමි.

ඒ සමගම පැමිණි දුම්‍රියට අපි ගොඩ වුණෙමු. තාත්තා පසුපස හැරී අප පසුකරගෙන යන නගර සීමාව දෙස බලා ‘තරුණයාගේ ආශාව’ යන ගීතය උරුණුවම් බාන්නට විය. ඔහු මා ගැන සැලකිල්ලක් නොදක්වන බව ඒවනවිටත් මා හට වැටහී තිබුණි.

“ඉතින් අපි යන්නේ නැව් බලන්නද…???” මම ඉතා උනන්දුවෙන් ඇසුවෙමි.

“ඔව්, සමහරවිට එකක යන්නටත් පුළුවන් වේවි…” ඔහු සිය කණ්ණාඩිය ඇස ලා ගැනීමට ප්‍රථම ඔහුගේ උඩ සාක්කුවෙන් ගත් දම් පැහැති ලේන්සුවෙන් කණ්ණාඩි වීදුරු දෙක හොඳින් පිස දැමුවේය. ඔහු කණ්ණාඩි දැම්මත් ඔහුගේ ඇස් පෙනීමේ දුර්වලතාවක් නොතිබුණි. ඔහුගේ ලේන්සුවෙන් හමා ආ ‘කෝටි කොලෝන්’ සුවඳේ සැරට මට හුස්ම ගැනීමට පවා අපහසු විය.

“වරාය බලන්න යන එක ගැන එතරම් පුදුම විය යුතු නෑ”, ඔහු කීවේය.
“ඇයි තාත්තේ ඔයා කණ්ණාඩි දාන්නේ…?” ඔහුගේ වූ අස්වාභාවික වෙනස්වීම පිළිබඳව පුදුමයට පත්ව මම ඇසුවෙමි. ඒ මොහොතේ ඔහුට හොඳටම කේන්ති ගියේය.

“තාත්තා…!!! මෝඩයා, තමුසෙ කොහොමද මම තමුසෙගෙ තාත්තා කියලා කියන්නේ…??? ආයේ පාරක් මට තාත්තා කියලා තිබුණොත් බලාගන්න පුලුවන් මං කරන දේ…!!!”

“…..” මම උදෑසන අවදිවන විට තාත්තා යැයි වටහා ගත්තේ වැරදි පුද්ගලයෙකු දැයි යන කනස්සලු සිතුවිල්ලෙන් මා පෙළුණෙමි. මා තාත්තා යැයි කියන පුද්ගලයා හා මා අතර ඇත්තේ මොන ඇයි හොඳයියක් ද…??? – ඕනෑ නම් ඔහු නිසැකවම මට වඩා අවුරුදු දහයක් පමණ වැඩි යැයි කෙනෙකුට දැන් සිතිය හැකිය. එහි වරදක් ද නැත. මගේ ඇඟ පණ නැතිවන ගතියක් දැනුණි. ජීවිතයටම මා දැන සිටි එකම පුද්ගලයා ඔහුය. මගේ මනස අවුල් සහගත සිතුවිලි රාශියකින් මා වටකර ගත්තේය.

“ඔය විදිහට මට පේන්න ඉන්න එපා. ඔයා අඬන්න ගත්තොත් මම ඔයාව මේ කෝච්චියේම දාමා යනවා…!!!” ඔහු ඉතා මෘදු ස්වරයෙන් කීවේය. ඒත් අනතුරුව ඔහු මා ළඟට විත් මා සනසන්නට උත්සාහ කළේය.

“රැවටුණා ද…??? මං ඔයාට එහෙම කරයි කියල හිතනවද…??? මම ගොඩක් සතුටු වෙනවා ඔයා මාව අඳුරගත්ත එක ගැන”, ඔහු සිනාසෙමින් කීවේය. මට එදා ගෙදර අතහැර ඒම පිළිබඳ ව පසුතැවිල්ලක් ඇතිවිය. කඳුලින් බොඳවූ දෑසින් යුතුව ජනේලයෙන් එපිට ඇති පරිසරය දෙස බලා සිටිනවා විනා වෙන කරන්නට කිසිවක් මට නොවීය.

අපි වරාය දුම්‍රියපොළට ළඟා වුණෙමු. තාත්තා එහි සිටි රතුපාට සූට්කේස් දෙකක් තල්ලු කරගෙන යන සේවකයෙකුට කතා කළේය. මම ඉන් එක් සූට්කේසයක් ද සමග රේගුව දෙසට ධාවනය වන වාහනයකට ගොඩ වුණෙමි. තාත්තා මේ සූට්කේස් දෙක තනිමවම මෙහි ගෙනාවේ කෙසේද? මා පුදුමයට පත්වීමි. මම සූට්කේසයේ නාම පුවරුව දෙස බැලුවෙමි. එහි කිසිවක් ලියා නොතිබුණි. වාහනයේ ඉදිරි අසුනේ සිටි තාත්තා තදින් තම ‘හැට් තොප්පිය’ අල්ලාගෙන; සුළඟේ ළෙලදෙන ටයිපටිය ද සහිතව ජනේලයෙන් හිස දමා ඉබිකටුවෙන් සෑදූ රාමු සහිත කණ්ණාඩි අතරින් සිනාසුණේය. ඔහ්!, එය භයානක, කපටි, කිසිදු හැඟීමක් නැති මුහුණකි…!!! මට දුකක් ඇති විය. මම ඉවත බලා ගත්තෙමි.

ආරක්ෂක නිළධාරියා උදෑසන හතට ඉවත් වීමට නියමිත බව වරායට ඇතුලු වන ගේට්ටුවේ ඇති දැන්වීම් පුවරුවේ සඳහන් කර තිබුණි. තාත්තා ඔහු ළගට ගොස් බෑග් දෙක ඔහුගේ කකුල් දෙක ළඟ තැබුවේය. මම රේගුවේ සිට එහි නවතා තිබූ කළු පැහැති මල බැඳුණු යකඩ කඳක් සහිත නැව දෙස බලා සිටියෙමි. වැඩි වේලාවක් නොගොස් එතුළින් විශාල දෝංකාරයක් නංවමින් විශාල චිමිනියෙන් හුමාලයද සමඟ නාදයක් පිටවිය.

“සියල්ලටම ස්තූතියි…!!! ඔයා ඔයා ගැන බලාගන්න…!!!” තාත්තා නැව් තට්ටුවේ සිට සිනාමුසු මුහුණින් යුතුව මට කීවේය.

“ඔබටත් එසේම වේවා…!!!” මම නැව් තට්ටුව දෙස බලා මොර දුන්නෙමි. නැව පිටත් විය. තාත්තාගේ සමුගැනීම සනිටුහන් කිරීමට මෙන් ඔහු ඔහුගේ හිසරැඳි ‘හැට් තොප්පිය’ ඉහළට ඔසවා එහෙමෙහෙ වැනුවේය. මමත් මගේ හිසරැඳි ‘පිදුරු තොප්පිය’ ගෙන ඉහළට ඔසවා එහෙමෙහෙ වැනුවෙමි. මම රෙගුවේ බිම තිබූ ලොකු ගඩොල් කණුවක වාඩි වී කුමක් කරන්නේ දැයි සිතා ගත නොහී තවත් හෝරා කිහිපයක් එහි ම ගත කළෙමි.

අවසානයේ නිල් බොත්තමින් හා නිල් පැහැති නිල ඇඳුමකින් සැරසුණු රේගු නිළධාරියෙකු මා වෙත පැමිණ මගේ උරහිසට අත තැබුවේය.

“මොකක්ද ප්‍රශ්නේ…??? තමුසෙ හදන්නේ මුහුදට පනින්නද…???” ඔහු ඇසුවේය. මට කිසිත් සිතාගැනීමට නොහැකිව එකවරම ඇඬුණි.

“හේ හේ…, ඇඬිල්ලෙන් කිසිම ඵලක් නෑ. මට කියන්න ඔයාට මොකද උනේ කියලා…”

“මට…මගේ… තාත්තා ව නැතිවුණා!” අවසානයේ දී මම පැවසුවෙමි. ඉන්පසු තාත්තා මා රැවටූ ආකාරය මම ඔහුට පැවසුවෙමි.

“ඔයාගේ තාත්තා මොන වගේද…???” ඔහු ඇසුවේය.

“මම ඔහුගේ රූපය මවා ගැනීමට උත්සාහ කළෙමි. ඔව්, එයා ඔයාගේ හැඩරුවට සමානයි. එයාට රැවුලක් නෑ; අවංකවම එයා ඔයා වගෙයි…!!!” මම කෑ ගසා කීවෙමි. ඒ අවස්ථාවේ ඔහු හොදින් රැවුල කපා තිබූ මුහුණ මත අත තබා පුදුමයෙන් බලා සිටියේය.

“රැවුලක් නැති මගේ තාත්තා, පිදුරු තොප්පිය, කණ්ණාඩි කුට්ටම, රතු ටයි පටිය, නියම මහත්තයෙකුගේ ලක්ෂණ. කරුණාවන්ත වූ රේගු නිළධාරියා සියලුම පෞද්ගලික තොරතුරු සටහන් කරගෙන විමර්ශනයක් සඳහා ආරක්ෂක නිළධාරියාට ලබාදුන්නේය. රතු ටයි පටිය හොඳ සාක්ෂියක් වුණාට දරුවා ඔයා දීපු අනික් තොරතුරු මහ සෙනගක් අතරින් එයාව සොයාගන්න තරම් ප්‍රමාණවත් සාක්ෂි නොවේ." අවසානයේ නිළධාරියා පැහැදිලි කළේය.

ඒ උදෑසන මගේ තාත්තා මා අතහැර දැමුවේ එලෙස ය. ඉන්පසු මම තනිවුණෙමි. මා හට ජීවිකාවක් පවත්වාගෙන යෑම ඉතාමත් අසීරු කටයුත්තක් විය. ඒ කෙසේ හෝ වේවා මොන අමාරුකම් පැමිණියත් ඔහුගේ මුහුණ රැවුලක් ඇතිව හෝ නැතිව මගේ මතකයේ සදාකාලිකව රැඳී පවතින්නේය.

https://www.thecolombopost.org/2020/06/%e0%b6%85%e0%b7%84%e0%b7%92%e0%b6%b8%e0%b7%92-%e0%b7%80%e0%b7%96-%e0%b6%ad%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f/


Nissanka Rajapaksa

unread,
Oct 27, 2025, 7:14:20 PM10/27/25
to INDRAKA group
36

ආදාර පත්තරේ


- ෂර්මිලා බංදුනී දංවත්ත

  "අම්මේ.... අම්මේ "

           පුටුව උඩම අඩ නින්දකට වැටී සිටි සුජාතා ගැස්සී අවදි වුණේ නිපුනිගේ හඬින්.

           නිපුනි අද මේ වෙලාවට නිවසේ සිටින්නේ ඇයි දැයි ඇයට එක්වරම සිතාගත නොහැකි වූවත් එය සෙනසුරාදා දිනයක්.

            " ඇයි...?ඇයි??"

           ''මට ටිකක් නින්ද ගියා"

          " අම්මේ, ලොකු හාමුදුරුවෝ වැඩමකරළා"

           " කෝ, කොහෙද ?"

           තුනටියේ වේදනාව අමතක වුණු, සුජාතා පුටුවෙන් නැගිට්ටේ ඉද්ද ගැහුවා වාගේ ය.

         " ඉස්තෝප්පුවේ! මම පුටුවකට සුදු රෙද්දකුත් දාලයි ආවේ. අම්මව හම්බවෙන්නමයි වැඩමකරලා තියෙන්නේ."

         ඇඳන් හිටිය ගවුම ගලවලා ඇඳ උඩට දාපු සුජාතා , ඉස්කිරිමේ තිබුණු හෝදපු ගවුමක් ඇඳගත්තා. පනා පාරවල් දෙක තුනක් ගහලා, කොණ්ඩෙ එක්තැන් කරගෙන ඉස්තෝප්පුවට ගියේ, මූණේ පවුඩර් ටිකකුත් උලාගෙනයි.

          " අපේ හාමුදුරුවනේ!, ඔබ වහන්සේ වැඩමකරන්න මහන්සි වුණේ, පණිවිඩයක් එව්වා නම් මම පංසලට එනවනේ"

           සුජාතා කිව්වේ පාත්වී හාමුදුරුවන්ට වඳින ගමන්.

         " අනේ ඒකට කමක් නැහැ ඉස්කෝලෙ හාමිනේ. තවත් ගෙවල් හතර පහකට යන්නත් එක්කමයි අද දොට්ට බැස්සේ. මෙහෙන්ම ගමන පටන්ගන්න හිතුවා. ලොකු ඉස්කෝලේ මහත්තයා ඉන්න කාලෙත් ඕනෑම සුභ කටයුත්තක් පටන්ගන්ගනිද්දි මුලින්ම වැඩියේ මෙහෙටනේ. ඉස්කෝලෙ මහත්තයා නැතිවුණාට පස්සෙ ඉස්කෝලෙ හාමිනෙත් අපිට බොහොම උපකාර කරලා තියෙනවා."

          " එහෙමයි හාමුදුරුවනේ! "

         " පංසලේ බෝධි ප්‍රාකාරය දැන් බොහොම අබලන්.තැන තැන පුපුරලා.මුල් ගිහිං. දායක සභාවෙ අදහස තියෙන්නේ බැම්ම ඉවත්කරලා රන් වැටක් හදන්නයි.එහෙම කලොත් බොහොම අලංකාරයට හිටීවි. ලොකු මුදලකුත් යනවා. ඒ මුදල් එකතුකරගන්න වෙන්නේ ගමේ දානපතියන්ගෙන්ම තමයි. ටවුමේ තොග කඩේ සිරිවර්ධන මුදලාලි යන මුදලින් බාගයක්ම දෙනවා .ඉතිරි මුදල තමයි අපට හොයාගන්න තියෙන්නේ" යි වදාළ ලොකු හාමුදුරුවෝ,

          ''ඉතින්, ඉස්කෝලෙ හාමිනේගේ පිංවත් දෑතින් ම මුලින් ම ආදාර පත්තරයට ගණනක් ලියන්නකෝ. අදම මුදල් දෙන්න ඕන නැහැ.ලබන මාසෙ පළවෙනිදා වෙනකොට ලැබුනොත් ඇති ." යි පැවසූ හ.

          "සුජාතගේ ඉහ මොළ දාලා ගියේ, බැංකු පොතේ තියන සොච්චම මතක් වෙලා. දෙන්නගෙම පැන්ෂන් එක ලැබුණත් බෙහෙත් වලටයි, ගෙදර අඩුවැඩියටයි ගියහම, මාසෙ අන්තිමට පොතේ ඉතුරුවෙන දෙයක් නැහැ.

             ඒත් සිරිවර්ධන මුදලාලි මතක්වෙද්දී දැනෙන්නේ ලැජ්ජාවක්. ඒ කාලේ කඩේ බඩු කිරන්න ගිය කොල්ලා,.දැන් මහ මුදලාලි කෙනෙක්. දැක්ක තැන " ඉස්කෝලේ හාමිනේ" කියලා ඔළුව පාත්කරනවා තමයි.

       " අනේ අනිච්චං අපිට ගිය කලක් " සුජාතාට හිතුණා.

          මොනවා කරන්නද ? ඉස් ඉස්සෙල්ලම ආපු නිසා ලක්ෂයක් වත් නොලියා බැහැ.ලක්ෂ දෙකක් වත් ලියන්න තිබුණා නම් හොඳයි. ඒත් පොතේ ඉතිරිවෙලා තියෙන්නෙත් ලක්ෂ දෙකයි. ඒකත් බොහොම අමාරුවෙන් බේරගෙන ඉන්නේ.ලෙඩක් දුකක් හැදුණොත් බෙහෙත් ගන්න, නැත්නම් තමන්ගේ අවසන් කටයුත්තකට හරි ගන්න හරි කියලා තමයි ඕක ඉතිරිකරගත්තේ.

         "නිපුනි දන්නවානම් ඕකටත් විදලා "

 සුජාතාගේ හිතේ දුව ගැන ඇතිවුණේ කලකිරීමක්.

         "දැන් ගමේ හැමතැනම අලුත් සල්ලිකාරයෝ. ලක්ෂය හොඳටම මදි. මැරුණු මහත්තයටත් හොඳ නැහැ. ලක්ෂ දෙකක්ම ලියනවා. ලෙඩ වුණොත් ආණ්ඩුවේ ඉස්පිරිතාල තියෙන්නේ. මැරුණොත් ඉන්න එකෙක් වලලන්න ,පුච්චන්න බැරිනම් කාණුවකට හරි ඇදලා දාන්නේ නැතෑ . යනකොට ගෙනියන්න තියන්නේ ඔච්චරයි."

        එහෙම හිතපු සුජාතා රුපියල් ලක්ෂ දෙකක්ම ලියලා, දෝතින්ම ආදාර පත්තරය, ලොකු හාමුදුරුවන්ට පිළිගන්වලා වැන්දා.

         සුජාතාගේ කරට උඩින් ආදාර පත්තරය කියවපු නිපුනි, කතා නොකරම ගෙට ගියා. ලොකු හාමුදුරුවෝ ආපහු වඩිනකොට වඳින්නවත් ආවේ නැහැ.

          "කොච්චරවත් නෑ , නෑ කිව්වට අම්මා ළඟ තියෙන සල්ලි, එළියට එන්නේ ආදාර පත්තරයක් දැක්කොත් තමයි."

           රෑට උයන ගමන් නිපුනි කිව්වා.

         "ඇයි මම උඹලගෙ ඕනෑ එපාකම් වලට දෙන්නේ නැද්ද?"

        එහෙම කියාගෙනම කුස්සියෙන් පිටවුණු සුජාතා, කාමරයට ඇවිත් ඇඳේ ඇලවුණා. හවස හයියෙන් හයියෙන් එහාට මෙහාට ඇවිදපු නිසා කොන්දෙ අමාරුව වැඩිවෙලා.

         සුජාතාට දරුවෝ දෙන්නයි. වැඩිමලා නිපුනි. පුතා රුචිර. නිපුනි ඉස්කෝලේ යන කාලෙමයි කැලුම් එක්ක සම්බන්ධයක් පටන්ගත්තේ.

         "ඕක නිසා තමයි නිපුනිට කැම්පස් යන්නත් බැරිවුණේ."

          සුජාතා තනියම කියවනවා.

     තරවටු කළත් අවවාද අනුශාසනා දුන්නත්, ඒ සම්බන්ධය බිඳින්න බැරිවුණා. උසස් පෙළ කරලා මග නවතින්න සිද්ධවුණා.

       "මක්කරන්නද කරුමෙ "

       සුජාතා තොල් මැතිරුවා .

      රජයේ ලිපිකාර විභාගයට පෙනී ඉඳලා තමයි ඔය රස්සාව හම්බවුණේ.

" ඉස්කෝලෙ මහත්තයා මොනතරම් මහන්සි වුණාද ඕකවත් හදලා දෙන්න"

       සුජාතට මහත්තයා මතක්වෙලා සුසුමක් පිටවුණා.

        නිපුනි රස්සාවට ගිහින් ටික කලකින්ම කැලුම්ව බැන්දා. කැලුම් වැඩකළේ මොකක්දෝ පුද්ගලික තැනක.එක තැනක වැඩි දවසක් රැඳෙන්න බැරි ගතියක් කැලුම්ට තියනවා.දැනට රස්සාවල් දහයක් පහලොවක් කරලා ඇති.එකක්වත් ස්තිර නැහැ.ගන්න ගානත් බීමටම වියදම් කරනවා.කුලී ගෙවල් මාරු කරකර ඉන්දැද්දි ඉස්කෝලෙ මහත්තයමයි කිව්වේ මහගෙදර ඇවිත් නතරවෙන්න කියලා.මහත්තයා නැතිවුණේ ගේ ඔප්පුවකින් පවරලා නෙවෙයි.

         " නැත්නම් මෙළහකට මේකත් උගස් කරලා"

         සුජාතාගේ හිතට ආවේ තරහවක්.

           රුචිර නම් බැංකු නිලධාරියෙක්.ගමේ එන්නෙ යන්නේ කලාතුරකින්. කසාද බැඳලා එහෙම බින්න බැස්සා.මහගෙදර අක්කා ඉන්න එක ගැන ඉන්නේ නොහොඳින්. අවුරුද්දටත් රෙදි කෑල්ලක් අරගෙන පවුල පිටින් ඇවිත් කරපොවලා යනවා විතරයි.

            නිපුනිගේ පඩිය මදි දරුවෝ දෙන්නගේ කටයුතු කරගන්නවත්. ඉස්කෝල වෑන් එකටම පහළොස් දාහක් ඕන. පංති ගාස්තු ඊට වැඩී. ඒ නිසා ගෙදර වියදම දරන්න වුණේ සුජාතාට. හොඳ වෙලාවට ලයිට් බිල විතරයි. වතුර ළිඳෙන්. ඒත් ඒකත් ලයිට් බිලටම එකතුවෙනවා.

         කැලුම් නම් සත පහක් ගෙදර වියදමට දෙනවද කියලා සැකයි. ඒත් කැලුම්ට විරුද්ධව වචනයක් කිව්වොත් නිපුනි එන්නේ හැපින්න වගේ පෙනේ පුප්පගෙන.

 " හෙටම ගිහින් සල්ලි ටික බැංකුවෙන් ගන්න ඕන. ගත්ත ගමන්ම පංසලට ගිහින් හාමුදුරුවන්ට දීලම එන්න ඕන. නිපුනි දැනගත්තා මගේ ළඟ සල්ලි තියෙන බව.නැත්නම් හෙට හවසම මොකක්හරි අහකදාන්න බැරි වුවමනාවක් කියාගෙන සල්ලි ටික ඉල්ලගෙන එයි.

      සුජාතා ඇඳේ ඉඳගෙනම කල්පනා කළා.

     සල්ලි ගෙදර ගෙනත් තියාගන්නත් බැහැ. කොට්ටෙ යට තියාගත්තත් අතුරුදහන් වෙනවා. නිපුනි ගන්නවද, ළමයි ගන්නවද කියලා හිතාගන්න බැහැ. කැලුම් නම් සුජාතාගේ කාමරයට එන්නේ නැහැ.

"මම හෙට උදේ ටවුමට යනවා . " රෑට කෑම කන ගමන් සුජාතා , නිපුනිට කිව්වා.

" හදිස්සියෙම. බැංකුවට යන්නද?"

     නිපුනි උත්තරය කටටම දුන්නා.

"මේ ගේ ඇතුළෙවත් ඇවිදගන්න බැරුව අම්මා කොහොමද තනියම බැංකුවට යන්නේ."

"වෙනදා යන විදියටම තමයි. මොකෝ, වෙනදත් උඹලා මගේ තනියට එනවද ? උඹලගේ වුවමනාවකට සල්ලි ගන්න දවසකට ඇරෙන්න."

 "ඒක තමයි මම ඒකාලෙම අම්මට කිව්වේ කාඩ් එකක් හදාගන්න කියලා. වැඩ ඇරිලා එන ගමන්ම සල්ලි ගෙනත් දෙන්න තිබුණා.

" හොඳට තියෙයි. එහෙම වුණානම් මෙලහකට කීයක්වත් පොතේ නැහැ."

           සුජාතා, හිතින් හිතුවා මිසක් කටින් පිට කලේ නැහැ.

   කාඩ් එකක් ඉල්ලන්න මැනේජර් මහත්තයා ළඟට ගියපු වෙලාවක කියපු කතාවක් සුජාතට මතක් වුණා.

 " කාඩ් එකක් අරගෙන මිස්ට පරිස්සම් කරගන්න පුළුවන්ද? ගෙදර අයගෙන් තමයි වැඩිපුරම පරිස්සම් කරගන්න වෙන්නේ."

       සුජාතා ,එදා හිතාගත්තා කවදාවත්ම කාඩ් එකක් ගන්නේ නැහැ කියලා.

       සුජාතා නින්දට ගියේ පහුවදාට ඇඳන් යන්න සාරියයි හැට්ටෙයි සූදානම් කරලා.අලුත් සාරියක් නම් ගත්ත කාලයක් මතක නැහැ.දැන් හැමතැනටම අඳින්නේ මගුල් ගෙවල්වල ඇඳලා පරණ වූණු සාරි දෙක තුනක්.සුදු සාරියක් නම් මීට අවුරුදු දෙකකට විතර ඉස්සර අරගත්තා.මරණෙට,දානෙට,පිංකමට සේරටම අඳින්නේ ඒ සාරිය.

     විශ්‍රාම අරගෙනත් දැන් කොච්චර කලක්ද? ඒකාලෙ ඇඳපු සාරිත් විශ්‍රාම ගත්තයින් පස්සේ දුන්නේ නිපුනිටම තමයි.උගන්වන කාලෙ නම් සුජාතා පිළිවලට ඇන්දා.

         සුජාතා කොහොමත් පාන්දරින් නැගිටිනවා. මොනතරම් අතේ පයේ අමාරු තිබුණත් නිපුනිට උයන්න පොල් ටිකක් හරි ගාලා දෙනවා.එදා නම් නැගිටගන්නවත් බැරි තරමටම කොන්දේ කැක්කුම වැඩි වෙලා. නැගිට්ටේ හිතේ හයියට.ඒ තරම්ම ඇඟේ කෙඩෙත්තුවකුත් තිබුණා.තෙල් ටිකක් ගාන්නවත් නිපුනිටත් වෙලාවක් නැහැ.තෙල් තලි ගාගෙන බස් වල යන්නත් බැහැ.වෙනදා වගේ කුස්සිය දිහාවට යන්නේ නැතිව හෙමි හෙමින් මූණ හෝදගෙන සාරිය පටලවාගත්තා.

"අපි යනවා. අම්මා පරිස්සමෙන් යන්න. රත්තරං බඩු එහෙම දාගෙන යන්න එපා "

           කියාගෙන නිපුනි දරුවෝ දෙන්නත් එක්කම පිටවෙලා ගියා.

            සාරියේ කටුව ගහන්නවත් කෙනෙක් නැහැ.කටුව ගහන්න යුද්ධයක් කරන්න වුණා.ඒක ගහලා ඉවරවෙනකොට අත් දෙකත් රිදෙනවා.මූණට පවුඩර් ටිකක් දාගෙන කණ්නාඩියෙන් බැලුවහම කර පාළුයි.

" චේන් එකක් වත් නැතිව ගෙයින් එලියට යන්න පුළුවන්ද?"

             සුජාතා රත්තරං චේන් පොට දාගත්තා.ඒ පෙට්ටියෙම තිබුණු වලල්ලත් අතක දාගත්තා.බැංකු පොතයි,හැඳුනුම්පතයි අනිත් කළමනා ටිකයි දාපු බෑග් එක උරේ එල්ලගත්තා.කුඩේ ගන්න හැදුවත් ඕනෑ නෑ කියලා හිතුනා.

          හතහමාරෙ බස් එක ටවුමට එනකොට අටහමාරයි.බස් ස්ටෑන්ඩර්ඩ් එකේ ඉඳලා බැංකුවට තියෙන දුර ත්‍රී වීලරයක යනවද කියලා කල්පනා කලත්

 " එනකොට  එනවා" කියලා හිතුවා.

උදේ අව්ව වුණත් හරි සැරයි.කකුලත් බැරි අමාරුවෙන් අද්දගෙන බැංකුවට යන්නම පැය බාගයක් විතර ගතවුණා.එක වරම පෝලිමට එකතු නොවී පුටුවක වාඩි වුණේ හිටගෙන ඉන්න බැරිකමටමයි.එදා සඳුදා දවසක් නිසා පෝලිමත් දිගයි.පැන්ෂන් දවස් නිසා තවත් කලබලයි.

        ටිකක් වාඩිවෙලා ඉඳලා නැගිටින්න හැදුවත් කොන්දේ අමාරව පිට දිගේ ඉහලට ඇදෙනවා.සුජාතා හෙමිහිට පෝලිමට එකතුවුණා.සල්ලි අරගෙන ඇවිත් ආයෙමත් පුටුවක ඉඳගත්තා.බෑග් එක ඇරලා සල්ලි ටික පරිස්සමට ඇතුල් සාක්කුවට දාලා වැහුවා.වායුසමිකරණ යන්ත්‍ර තිබුණත් සුජාතාව දාඩියෙන් තෙත් වෙලා.ගිනිගහන අව්වක් පායලා තියෙනවා වීදුරුවෙන් පේනවා.ඒත් මෙතෙන්ට වෙලා වාඩිවෙලා හිටියොත් දහයාමාරේ බස් එක මගහැරෙයි කියලා බයයි.

                 හෙමින් පුටු ඇන්ද අල්ලගෙන නැගිටපු සුජාතා බෑග් එක හොඳින් කිහිල්ලට තද කරගත්තා.සාරි පොට අරගෙන බෑග් එක නොපෙනෙන විදියට කර වටේ ඔතාගත්තා.බැංකුවේ පඩි පෙළ බැහැලා පාරේ ගමන්කරන සෙනග අතරට එකතු වුණා. ත්‍රී වීලරයක්වත් පේන මානයක තිබුණේ නැහැ.

" අඳුනන්නේ නැති ඒවට නගින්නත් බයයි."

   අනිත් අතට හිතුණා.

" ටික දුරනේ. හෙමින් හෙමින් යනවා "

මීටර් දෙතුන් සීයක් යනකොට වෙනදා නැති හතියකින් පපුව හිරවෙනවා වගේ සුජාතාට දැනුණා. ඇස් දෙක නිලංකාර වුණා. පාරේ යන එන නොපැහැදිලි රූප අතරේ තමන් ඉන්නේ කොතනද කියන එක සුජාතාට අමතක වුණා. වාරු නැති දෙපා ඉදිරියට ඇදගෙන යන්න හැදුවත් තව දුරටත් ඒවා ප්‍රතිචාර දැක්වූයේ නැහැ. කිහිල්ලට තද වී තිබූ බෑග් එක ගිලිහෙනවාවත්  සුජාතාට දැනුනේ නැහැ. කපා හෙලූ ගසක් වගේ සුජාතා පදික වේදිකාව අයිනේ ඇද වැටුණා.හිරු අහසේ බැබලෙමින් තිබුණා.

"අල්ලන්න....අල්ලන්න"

" ඇම්බියුලන්ස් එකකට කතා කරන්න "

කොහෝදෝ ඈත ලෝකයකින් සුජාතාට ඇහුණා.   

 https://www.heladiva.lk/%e0%b6%86%e0%b6%af%e0%b7%8f%e0%b6%bb-%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb%e0%b7%9a/

Nissanka Rajapaksa

unread,
Oct 28, 2025, 8:53:01 PM10/28/25
to INDRAKA group
37

කොස්ගහ

- ෂර්මිලා බංදුනී දංවත්ත 
             " අදත් මිදුල වවුල් පොල වගේ. වැල කුණු කාල බිමදාලා.හැම තැනම කෝඳුරුවෝ. අතුගාලා ඉවරයක් නැහැ"

            "උදේට මහ කූඩයක් පුරවලා කොල අදින්න ඕන. ඒ මදිවට කොස් ඇටයි වැල කටුයි අප්පිරියාවේ බෑ. මොන කරදරයක්ද මන්දා. කිව්වට මේ පැත්තට තියෙන අතු ටිකවත් කප්පන්නේ නැහැනේ. වැටිලා යන ගෙඩියක් වත් කඩාගන්න කියනවා නම් තව මොකද "

            ශ්‍රියානි අදත් උදේම පරල වෙලා. හැමදාම උදේට ඔහොමයි. ඉදල අරගෙන එළියට බහින්නෙම කොස් ගහ දිහා බලාගෙන. අතුගාන්න තව ඕනෑ තරම් තැන් තිබුණත් මුලින්ම යන්නේ කොස් ගහ යට ට.

             කොස් ගහ ශ්‍රියානිලා ගේ නෙවෙයි. යමුනලා ගේ. ශ්‍රියානියි, යමුනයි විවාහ වෙලා ඉන්න නිමලුයි, කමලුයි සහෝදරයෝ. ගහේ මුල තියෙන්නේ යමුනලා ගේ වත්තේ වුණාට අතු බරවෙලා තියෙන්නේ ශ්‍රියානිලා ගේ වත්තට. වතු දෙක වෙන්කරලා තියෙන කටු කම්බි තුන් පොට ගැන කොස් ගහට වගේ වගක් නැහැ. එබෙන්නෙම අල්ලපු වත්තට.

" මහ මිනිස්සු උනත් දැනගන්න ඕන වැටමායිම් වල ගස් හිටෙව්වහම පස්සට කරදර සිද්ධ වෙන විත්තිය "

          ශ්‍රියානි තනියම කියවනවා.

මේ වතු දෙකම ඉස්සර තනි ඉඩමක් කියලා ශ්‍රියානි දන්නේ නැහැ. පුතාලා දෙන්නා විවාහ වෙන්න කපුවෝ එන යන කාලේ තමයි නිමල්ගේ අප්පච්චි ඉඩම හරියට දෙකට බෙදලා මැදින් කටු කම්බිය ගැහුවේ. කොස් ගහ අයිති වුණේ ලොකු පුතා වුණු නිමල්ට. ඒ කියන්නේ යමුනා ගේ සැමියට. මහ ගේ එක්කම ඉඩම් කොටස අයිති වුණේ පොඩි පුතා කමල්ට. ඒ කියන්නේ ශ්‍රියානි ගේ සැමියට.

            යමුනා කැන්දන් එන්න කලින් තට්ටු දෙකට අත්තිවාරම දමලා තිබුණත් ගෙයි වැඩ ඉවර කරගන්න තවම බැරි වුණා. උඩ තට්ටුව ස්ලැබ් එකට විතරක් සීමා වෙලා. දැන් ස්ලැබ් එක ප්‍රයෝජනයට ගන්නේ රෙදි වේලන්න විතරයි. පරණ පන්නයේ විශාල නිවසක් වුණු මහ ගෙය ශ්‍රියානිලා ට අයිති වීම පිළිබඳව යමුනා ඉන්නේ හිත නොහොඳින්. එළිපිට නොපෙන්නුවට දෙගොල්ලෝ අතරේ වැඩි ඇයි හොඳයියක් කොහොමටත් නැහැ.

             අල්ලපු වැටේ හිටියත් සිංහල අවුරුද්ද ට චාරිත්‍රයට එහා මෙහා ගියාට, වෙන යාම් ඊම් නැහැ. ගෙවල් දෙකේ දරුවන් නම් ඒ දවස්වල එකට කෙළි සෙල්ලම් කළා. ඒ කාලේ කම්බි පොටවල් අතරින් එහා මෙහා යන්න කඩුල්ලක් තිබුණා. දරවෝ සෙල්ලම් ගෙවල් හැදුවේ කොස් ගහ යට. අතු විහිදිලා සෙවණ සදමින් තිබුණට ඒ කාලේ මේ තරම් උස නැහැ. ශ්‍රියානිලා ගේ නිවසට අතු බරවෙලත් නැහැ. දරුවන් ලොකු මහත් වෙළා ඉගනීමේ කටයුතු වලට වැඩි අවධානයක් යොමු වුණාට පස්සේ කොස් ගහ යට සෙල්ලම් ගෙවලුත් ඉබේම වැහිලා ගියා.

               නිමල්, කමල් දෙදෙනා ම නිව්ණු මිනිස්සූ. වැඩි කතා බහක් නොතිබුණත් දෙදෙනා අතර කිසිදාක ගැටුමක් ඇති වුණේ නැහැ. සෙවණැල්ලේ ඇදයටත් එහාට මෙහාට වචන වීසි කර ගන්නේ ගැහැණු දෙන්නා තමයි. ඒත් ඒ එකම ගැටුමක් වත් කෙස්වලු පටලවා ගන්නා තරම් දුර දිග ගියෙත් නැහැ.

            ගෙවල් දෙක අතර කඩුල්ල වහලා කම්බි ගහමු කියන යෝජනාව ආවේ යමුනාගෙන්. ඒ කොස් ගහ කප්පවන්න කියලා ශ්‍රියානි ගේ කීමට කමල් ගිහින් ග්‍රාම නිලධාරී නෝනා ළඟ පැමිණිල්ලක් දමපු දවසෙයි. මුලින් මුලින් අදි මදි කර කර හිටපු නිමල් දවසක් නිවාඩු දාලා කඩුල්ල වැහුවේ, කමල් ගේ පැමිණිල්ලකට අනුව කොස් ගහෙන් වන හිරිහැර බලන්න පොලිසියෙන් පැමිණි දවසට පසු දිනයි.

                නිමල්ලා ගේ අම්මා ජීවත්ව හිටි දවස්වල නම් කොස් වාරෙට ගස් නගින පියදාස ලවා කොස් කඩවලා ගෙවල් දෙකටම සම සමව දීලා ඉතිරි ටික අහල පහල ගෙවල් වලට බෙදනවා. අම්ම ගේ අවුරුදු දෙකේ දානය වෙනකම්ම යමුනත් තමන්ට කොස් ගෙඩියක් කඩවගත්ත දවසට ගෙඩියෙන් බාගයක් ශ්‍රියානිටත් යැව්වා. ඒත් අම්ම ගේ අවුරුදු දෙකේ දානේ දවසේ සිද්ධ වුණු හිත් අමාරුවකින් පස්සේ යමුනත් ශ්‍රියානිත් දෙන්නා මූණට මූණ නොබලන තත්වයට පත් වූවායින් පස්සේ කොස් හුවමාරුවත් නැවතුණා.

 කොස් ගහ වැල ගහක්. ශ්‍රියානි කන්නේ වරකා විතරයි. යමුනා නම් වැලයි වරකයි දෙකම කනවා. ඉස්සර වැල ගෙඩියක් ඉදෙව්වහම මල්ලිට කියලා නිමල් අතේ පලුවක් යවන්නෙත් යමූනාමයි. ශ්‍රියානි තරහා වුණේ යමුනා එක්ක. ඒත් වෛර බැඳගත්තේ කොස් ගහත් එක්ක. මේ පාර නම් කොස් ගහ කප්පවලාමයි පස්ස බලන්නේ කියලා ශ්‍රියානි කියපු කතාව යමුනා එක්ක ඉස්සරහ ගෙදර සුමනා කිව්වේ තවත් විස්තර අතිනුත් එකතු කරලා.

" බලමුකෝ කප්පවන හැටි "

කියාගෙන ගෙට ආවා මිසක් වැඩිපුර මොකුත් කියන්න නොගියේ ඒ කේලමත් ශ්‍රියානි ගේ කනේ තියන්නෙත් මේ විදියටමයි නේද කියලා හිතුණු නිසයි. හෙට අනිද්දිටම හන්දියේ කොස් විකුණන ජෝඩුව ගෙන්වා පැහුණු කොස් ගෙඩි ටික කඩාගෙන යාමට කිව යුතු බවද ඈ එවෙලේම හිතට ගත්තා.

 ශ්‍රියානි ගේ අතුගෑම වගේම යමුනා ගේ රෙදි සේදීමේ ද ඉවරයක් නැහැ. වැඩුණු පුතුන් දෙදෙනාගෙත් සැමියාගේත් කලිසම් කමිස සේදීමත් පහසු කටයුත්තක් නෙවෙයි. යමුනාටත් එකම ඇඳුම නොසෝදා දවසකට වැඩිය අඳින්න බැහැ. වැස්සත් පෑව්වත් රෙදි සේදීම ඇගේ සිරිතයි.

 සෝදනවාටත් වඩා අමාරු රෙදි වේලාගැනීමයි. කොස් ගහ නිසා අඳුරු ස්වභාවයක් ගන්නා වත්තේ රෙදි වේලීමට තැනක් නැහැ. ඒ නිසාම ස්තීරවම රෙදි වනන්න තැනක් නිමල් සකස්කරලා දීලා තිබුණා. ඒ ස්ලැබ් එක උඩ.

කිසිම කම්මැලි කමක් නැතිව දිනපතා රෙදි සෝදන යමුනා උදේම ඒ රෙදි වැල් වල වනනවා. වැස්සොත් අකුලන්නත් නැවත අව්ව ආ විට වනන්නත් ඇය පඩි පෙළ දිගේ ඉහළ පහල දුවන්නේ කඩියෙක් වගේ. එදත් උදේ ඇය රෙදි වැනුවේ ශ්‍රියානි ගේ ආඩපාලි අසමින්මයි. නමුත් එදින ඒවාට හරස් පද කියන්න යමුනාට හිත් දුන්නේ නැහැ.

උයා පිහා අවසන් වන විට අහසද අව්ව අකුලාගෙන තිබුණා. බටහිර අහස කළු කරගෙන ආවේ මහා වැස්සක පෙර නිමිති පල කරමිනුයි. යමුනා පය ඉක්මන් කර උඩට නැග්ගේ රෙදි අකුලාගෙන එන්න හිතාගෙන. ඒ වන විටත් වැහි බිංදු එක දෙක වැටෙන්න පටන් අරගෙන. අවසානයට නිමල්ගේ දිග කලිසමක් වැලෙන් ඇදගෙන උර මතින් දමාගත් යමුනා යන්ට හැරෙනවාත් සමගම ඇය පය තබා තිබුණේ ස්ලැබ් එකෙන් පිටතට.

" ඔන්න තව එකක් වැටුණා "

කියමින් ශ්‍රියානි මිදුලට බැස්සේ

"ඩොග්"

     යන හඬින් බරට වැටුණු වැල කුණ මහ වැස්සට පෙර කුණු වලට ඇද දමන්නයි. නැතිනම් වැස්සට චොහොරු වන වැල කුණ අයින් කරන්න ලේසි නැහැ. ඒත් කොස් ගහ යට වැල ගෙඩියක් වැටී තිබුණේ නැහැ. වැට අයිනටම ගිය ශ්‍රියානිට යමුනා ගේ නිවස දෙස බැලුනේ නම් ඉබේටම.

ගේ අයිනේ බිම වැටී තිබූ රෙදි ගොඩ ශ්‍රියානි ගේ නෙත ගැටුණේ අහම්බෙන්. තවත් හොඳින් බලන විටයි ඒ රෙදි ගොඩට යටවී මුනින් තලාවී වැටී වුන් යමුනාව දුටුවේ.

" යමුනක්කේ "

යන හඬ ශ්‍රියානි ගේ මුවින් පිටවුණේ ඇයටත් නොදැනීමයි. යමුනා වැටී සිටි දෙසට දුවන්නට තැත් කළත් එය වලකමින් නැගී සිටියේ නිවෙස් දෙක අතර ඇති කම්බි පොටවල් තුනයි.

සිහි එළවාගත් ශ්‍රියානි පාර දිගේ දුවගොස් ගේට්ටුව ඇරගෙන යමුනා ගේ වත්තට ඇතුළු වුණේ අහල පහලට ද ඇසෙන සේ විලාප දීගෙන. සිහි සුන්ව සිටි යමුනා ගේ හිසින් ගලා යන ලේ දහරාවන් දුටු ශ්‍රියානි ට දැනුණේ කලන්ත වී වැටෙන්නට යන බවක්. නමුත් තමන් ගේ වගකීම අවබෝධ කරගත් ශ්‍රියානි ගිලන් රථය ඇමතුවේ ගැහෙන හිතින්.
යමුනාව ගිලන් රථයේ නංවාගෙන එයටම ගොඩවූ ශ්‍රියානි රෝහල කරා පැමිණෙන විට වර්ෂාව ධාරානිපාත වර්ෂාවක් බවට පත්වී තිබුණා.

ශල්‍යාගාරයටත් එතනින් දැඩි සත්කාර ඒකකයටත් මාරුකළ යමුනා සිටියේ දෙලොවක් අතර. සිරුර පුරා වයර් බට සවිකර මලාක් මෙන් වැතිර සිටින යමුනාව ශ්‍රියානිට දකින්නට හැකි වුණේ දැඩි සත්කාර ඒකකයේ දොරේ සවිකර ඇති වීදුරු හිඩැසින්.

"අනේ අක්කේ ඉක්මනට නැගිටපන් "

 ඉකියක් අතරින් ශ්‍රියානි ට කියවුනේ ඉබේටම.

තවත් බලාසිටීමේ තේරුමක් නැතැයි මිසීලා පැවසූවෙන් ශ්‍රියානි කමල් සමග නිවසට පැමිණෙන විට මැදියමද පසුවී තිබුණා. ඒ වන විටත් යමුනා ගේ නිවස අඳුරේ ගිලී පැවතුණේ යමුනා පිළිබඳ තොරතුරක් බලාපොරොත්තුවෙන් නිමලුත් පුතුන් දෙදෙනාත් ඒ වන විටත් රෝහල් මිදුලේම ගැවසෙමින් සිටි නිසයි.

 පසුවදා උදෑසනම නැගිට පුරුද්දට මෙන් ඉදල අතට අරගෙන මිදුලට බැස කොස් ගස දෙස බැලූ ශ්‍රියානිට දක්නට ලබුණේ වැල කුණු දෙකක්ම ගස මුල වැටී ඇති බවයි. ඒත් ශ්‍රියානිට වෙනදා දැනුණු කේන්තිය නම් එදා දැනුණේ නැහැ.

" යමුනක්කට කොහොමද දන්නේ නැහැ"

සිතමින්ම ඇය මිදුලේ අනෙක් පසට ගියේ කොස් ගස නොපෙනෙන්නටයි.

------------------------------

https://www.heladiva.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b7%83%e0%b7%8a%e0%b6%9c%e0%b7%84/

Nissanka Rajapaksa

unread,
Oct 29, 2025, 8:16:42 PM10/29/25
to INDRAKA group
38

මව සහ දියණිය

සිංගප්පූරු ලේඛිකා ඇමැන්ඩා චොංගේ What the modern woman wants' නමැති කෙටිකතාවේ පරිවර්තනය   


- පරිවර්තනය සුනිලා විජේසිංහ 

මහලු කාන්තාව තම දියණියගේ මෝටර් රථයෙහි පසුපස අසුනෙහි වාඩි වී සිටියාය. එය තද දම් පැහැයෙන් යුත් වහලය හා ජනෙල් අකුලා දැමිය හැකි ආකාරයේ නවීන පන්නයේ රථයක් විය.

එකී රථය මහාමාර්ගයෙහි වේගයෙන් ඇදී යමින් තිබිණි. අධික වේගය නිසා රිය පැත්තකට ඇලවෙද්දී මහලු කත තම උකුළ මත වූ ප්ලාස්ටික් බෑගය දැඩිව ග්‍රහණය කොට ගත්තා ය. සුළඟ විසින් එය පැහැරගෙන යනු ඇතැයි ඇය බියපත් වූවා සේ ය. මේ තරම් වේගයෙන් ගමන් ගොස් ඇයට පුරුද්දක් නැත. වෙවුලන දෑතින් ඈ තම අසුනෙහි පටිය වඩාත් තද කොට ගත්තාය. ඇය එසේ කළේ තම රළු අතැඟලි විශේෂ වූ සම් වර්ගයකින් නිමවන ලද රිය අසුනෙහි නොගැටෙන්නට වග බලා ගනිමිනි.
තම රථය අපිරිසිදු නොකරන ලෙසට දියණිය ඇයට කලින්ම අනතුරු අඟවා තිබුණා ය.
“ඇඟිලි සලකුණු සුදු පාට ආසනවල වැදුනාම කැතට පේනවනෙ අම්මා.” 'රියැදුරු අසුනෙහි සිටියේ මහලු කාන්තාවගේ දියණිය ‘බී චූ’ ය. රිය පදවන අතර ඇය තම මටසිලුටු රිදී පැහැ ජංගම දුරකතනයෙන් කාටදෝ කතා කරමින් සිටියා ය. ඇය කතා කළේ මහා බරපතළ වචන ය. මහලු මවට ඒ බොහෝ වචන හරිහැටි තේරුණේ නැත.
‘ගනුදෙනු මිල මුදල්, දේපළ ආයෝජන...’
ඇගේ කතාව චතුර විය. වැදගත් හා නැවුම් රිද්මයකින් ද යුක්ත විය.
දියණිය හරියට රූපවාහිනි තිරයේ එන විදේශීය ගැහැනු ළමයකු මෙනැයි අම්මාට සිතුණි. ඇය ඉංග්‍රීසි කතා කළේ ද ඇමරිකානු ශෛලියට ය.
මහලු මව තම දිවෙන් හඬක් නැගුවේ ඒ කෙරෙහි ඇතිවූ අප්‍රසාදයෙනි.
“ඇත්ත වශයෙන්ම මට මේක තියාගන්ඩ බෑ, විකුණන්නයි ඕන.”
දියණිය කලහ කරන්නාක් මෙන් තදින් ප්‍රකාශ කොට, ඇක්සලේටරයට පය තැබුවාය.
ඉතා සුරුවමට සැකසූ නිය සහිත ඇගේ අතැඟිලි සුක්කානමෙහි ගැටී තිබුණේ නොරිස්සුම් ගතියකිනි.
“මට බෑ තවත් නම් මේ ගනුදෙනු ගැන කතා කරන්ඩ”
දොස් පවරන විලාසයෙන් පැවසූ දියණිය වහා තම ජංගම දුරකථනය විසන්ධි කොට පිටුපස අසුනට විසිකළේ අමනාපයෙනි. පිටුපස අසුනෙහි සිටි මහලු කාන්තාවගේ නලළෙහි වැදුණු දුරකථනය අනතුරුව නිහඬව ඇගේ උකුල මතට ඇද වැටුණි.
ඇය ඉතා සන්සුන්ව එය අහුලා තම දියණිය අතට දුන්නා ය.
“කනගාටුයි අම්මේ” ඇමරිකානු ශෛලිය මඳකට අමතක කොට දියණිය මැන්ඩරින් ශෛලියෙන් කතා කළාය.
“මට ලොකු අනුග්‍රාහකයෙක් ඉන්නවා ඇමරිකාවේ. එයත් එක්ක ප්‍රශ්න හරියට.”
මහලු කාන්තාව හිස වැනුවේ කිසියම් දෙයක් අවබෝධ කරගත්තා සේය. ඇගේ දියණිය රාජකාරි බහුල, වැදගත් කාන්තාවකි.
 “බී චූ” තම රියෙහි පසුපස බලන කණ්ණාඩිය තුළින් මව දෙස බැලුවා ය. ඇය කුමක් සිතමින් සිටිනවා දැයි ඇයට සිතාගත නොහැකි විය.
රැලි වැටුණු ඒ මුහුණෙහි හැම විටම දකින්නට ලැබුණේ ඒකාකාරී හා ගුප්ත වූ හැඟීමකි. දුරකථනය නැවතත් නද දෙන්නට පටන් ගත්තේය. ගැඹුරු වූ නිශ්ශබ්දතාව බිඳිමින් එයින් මතුවූයේ කෘත්‍රිම, ප්‍රීතිමත් වූ තාලයකි.
“හෙලෝ බියටි්‍රස්! ඔව්; මේ එලයිනී.”
මහලු කාන්තාව තවත් හැකිළී ගියා ය.
මං දැනගෙන හිටියේ නෑ, එයාගෙ ඒ නම; එලයිනී, ඉංග්‍රීසි නමක් අන්තර්ජාලය තුළදී ඉතා වැදගත් වන බව වතාවක් තම දියණිය පැවසූ බව මහලු මාතාවට සිහිපත් විය.
“කමක් නෑ චීන නම් ඉක්මනින්ම අමතක වෙනවනෙ.”
“අනේ නෑ, අද මට දවල් කෑම වෙලාවෙදි ඔයා මුණගැහෙන්නට විදියක් නෑ, මට අර පරණ කෞතුක වස්තුව දේවස්ථානෙට ගෙනියන්න තියෙනවා. එයාගෙ අර අරුම පුදුම දෛනික යාච්ඤා මෙහෙයට.”
දියණිය තවදුරටත් ජංගම දුරකථනයේ ය.
“පරණ කෞතුක වස්තුව.”
ඒ තමා හඳුන්වන්නට භාවිත කළ නමක් බව මහලු මව ඉතා හොඳින් තේරුම් ගත්තාය.
දියණිය හැමවිටම අම්මාගේ නිහඬතාව තේරුම් ගත්තේ, ඇය එවැනි අවස්ථාවන් ‘අවබෝධ කර නොගත්’ ලෙසටය.
“ඔව් බියටි්‍රස් මං දන්නවා; මගේ කාර් එකේ සීට් හඳුන්කූරු නිසා ගඳ ගහවි.”
මහලු කාන්තාව ඇගේ තොල්පෙති තදින් හකුළා ගත්තාය මෙවර ඈ දෑතින්ම ප්ලාස්ටික් බෑගය තරව අල්ලාගත්තේ තම ආරක්ෂාව සලසා ගැනීමට මෙනි.
කාරය ඉතා පහසුවට වංගුවක් ගෙන දේවස්ථාන මිදුලට ඇතුළු විය.
මහලු මව පසුපස අසුනින් බැස්සා ය. අනතුරුව ඉතා සෙමෙන් ප්‍රධාන ශාලාව දෙසට ඇවිද ගියාය. ඇගේ දියණිය ව්‍යාපාරික ඇඳුම් කට්ටලයෙන්ම කාරයෙන් බැස තොල් ආලේපනය අලුත් කරගත්තාය.
“අම්මා මං පිට පැත්තෙන් ඉන්නම්. මට වැදගත් ටෙලිෆෝන් පණිවුඩයක් ගන්ඩ තියෙනවා.”
හඳුන්කූරු දුමෙහි කටුක ගන්ධය කෙරෙහි තමා තුළ ඇති පිළිකුල සඟවන්නට වෙහෙස නොගනිමින් ඇය එසේ කීවාය.
මහලු කාන්තාව දේවස්ථානය තුළට ඇවිද ගියේ නොන්ඩි ගසමිනි. එහි ගිය විගස ඇය පළමුව කළේ හඳුන්කූරක් දැල්වීම ය. අනතුරුව නිහඬව දණ බිම ඔබා ගෙන දෙවිඳුන් උදෙසා කරන තම හුරු පුරුදු දෛනික යාච්ඤාව කොඳුරන්නට වූවා ය.
“ආකාසයේ නිවස්නා දෙවියනි, ඔබට ස්තුතිවන්ත වේවා! ගෙවී ගිය අවුරුදු ගණනාවක් පුරා ඔබවහන්සේ මගේ දියණියට වාසනාව ලබා දී ඇත්තේ ය. මා යාච්ඤා කළ පරිදි ඔබ ඈ වෙත බොහෝ දේ ලබා දී ඇත්තේය. සාමාන්‍යයෙන් මේ ලෝකයේ තරුණ කාන්තාවකට අවශ්‍ය වන සෑම දෙයක්ම ඈ හට ලබා දී ඇත්තේ ඔබ වහන්සේ ය.
දැන් ඇය සතුව පිහිනුම් තටාකයක් ද සහිත විශාල නිවසක් ඇත. උයන්නට හා මහන්නට අදක්‍ෂ වූ ඇයට උදව්වට සේවිකාවක් ද සිටී. ඇගේ ආදරයට ද ආශිර්වාද ලැබී ඇත්තේ ය. පොහොසත් හා කඩවසම් තරුණයකු සමඟ ඇය විවාහ ගිවිසගෙන ඇත්තී ය.
දැන් ඇගේ ව්‍යාපාරික ආයතනය ඉහළ පෙළේ වෙළෙඳ සමාගමකි. පුරුෂ පක්‍ෂයේ උදවිය පවා ඇගේ උපදෙස්වලට හොඳින් ඇහුම්කන් දෙති. ඇය සරුසාර ජීවිතයක් ගත කරයි.
දෙවිඳුනි, සතුට හැරෙන්නට අන් සෑම දෙයක්ම ඔබවහන්සේ විසින් ඇය හට ලබා දී ඇත. ජයග්‍රහණයේ අස්වැන්න නෙළද්දී ඇගේ මුල් ඇයට අහිමිව තිබුණ ද සියලු දෙවිවරුනි, ඇයට අනුකම්පා කළ මැනව.
“ඔබ දකින දේ සත්‍යයම නොවේ. ඇය මට හොඳ දියණියක්. ඇගේ විශාල නිවසේ කාමරයක් මට ලබාදී තිබෙනවා. මට අවශ්‍ය දෑ ඇය සපයා දෙනවා. මා ඇගේ සතුටට අනිසි බලපෑම් ඇති කරන විටයි, ඇය මට නපුරුවෙන්නේ. හැබෑවටම තරුණ කාන්තාවකට ඇගේ මව විසින් බාධා කළ යුතු නෑ. ඒක මගේම වැරැද්ද.”
මහලු කාන්තාව හැඟීම්බරව දෙවිඳුන් යදිද්දී ඇගේ ඇස්වලින් කඳුළු උතුරා හැලුණි. අවසානයේදී ඇය අඩක් දැවී ගිය හඳුන්කූර අළුවලින් පිරීගිය පුකුරුව තුළ සිටුවූවා ය.
මේ මහලු මාතාව ඇගේ දියණිය වෙනුවෙන් වසර තිස් දෙකක් තිස්සේ දෙවියන් යදිමින් සිටින්නී ය.
එකල කුස දරුබරින් පිරී පුහුල් ගෙඩියක් සේ රවුම් වී තිබියදීත් ඇය දේවස්ථානයට පැමිණියා ය. ඇය ප්‍රාර්ථනා කළේ උපදින්නා පුතෙක් වේවා කියා ය.
එහෙත් කාලය පිරිපුන්ව ඇගේ ගර්භාෂයෙන් පිටතට ලිස්සා ආයේ තරබාරු කලවා සහ රෝස පැහැති කම්මුල් සහිත දූ සිඟිත්තියකි. ඇගේ ස්වාමි පුරුෂයා ඇයට තරවටු කළේය; පහර දුන්නේය. ඒ, වැඩ කළ නොහැකි, පවුලේ නම ගෙන යා නොහැකි අප්‍රයෝජනවත් ළදැරියක බිහිකළා යැයි රොස් පරොස් පවසමිනි.
එහෙත්, ඇය අලුත උපන් කුඩා දැරිය සරමකින් බැඳ ඉණෙහි රඳවාගෙන දිගටම දේවස්ථානයට ගියාය. දියණිය හොඳින් හැදී වැඩී අවශ්‍ය සියලු දේ ඇයට හට ලැබේවා’යි මව නිරන්තරවම දෙවියන් යැද්දා ය.
සැමියා ඇය හැර දමා ගියේය. තම දියණියට කිසිදාක පිරිමියෙක් මත යැපෙන්නට සිදු නොවේවා යැයි ද ඇය ප්‍රාර්ථනා කළාය. යාච්ඤා කළාය.
තම දියණිය යම් දවසක නූගත්කම නිසා තමාට කිසිදා ළං විය නොහැකි වූ ආකාරයේ උදාර තත්ත්වයක සිටින ගැහැනියක විය යුතු යැයි ඇය නිබඳව ම පැතුවා ය.
‘තමා කළ යුතු යැයි සිතාගත්, අධිෂ්ඨාන කරගත් සියල්ල එලෙසින්ම ඉටුකර ගැනීමේ හැකියාව ඇති ගැහැනියක්!
‘පිරිමින්ගේ හදවත් තුළ ඈ පිළිබඳ ගෞරවයක් ජනිත කරවිය හැකි ගැහැනියක්! කතාකරන්නට මුව විවර කළ විට මිනිසුන් සවන් දෙන අගනා මුතු වදන් ඇදහැලෙන ගැහැනියක්! ඇය මා වන් කෙනෙකු එනම් දියණිය තමාගෙන් දුරස්ව යනු දකින අම්මා කෙනෙක් විය යුතු නැත.
ඇය තම දියණියගේ වෙනස්වීම දෙස බලා සිටි අයෙකි. නිහඬ දැරියකව සිටි ඇය පසුව තම මව පැරණි කාලයේ ගැහැනියක ලෙස විවේචනය කරන තත්ත්වයට පත්ව සිටියා ය. ඇයගේ වුවමනාව වූයේ තම මව නවීන පන්නයේ ගැහැනියක් වනු දැකීමයි.
දැන් ඇයගේ දියණිය දක්‍ෂයෙකි. ඇගේ අඛණ්ඩ යාච්ඤාවලට දෙවියන් වහන්සේ හිතෛෂීවන්ත වී ඇත. නමුත් සතර අතින් ගලා ආ ධනය හා ජයග්‍රහණයන් විසින් ඇගේ මුල් වළ දමනු ලැබ ඇත.
ඇය දැන් සිටිනුයේ නියම මුහුණුවරක් නොමැතිව ය. සැබෑ අනන්‍යතාවක් නොමැතිව ය. ඇයගේ මුතුන් මිත්තන් සතුව තිබූ පස හා ඇය අතර ඇති සම්බන්ධතාව දැන් ඉතා සියුම් නූල් කැබැල්ලක් තරම් වේ.
දියණිය මවගේ වටිනාකම් අමතක කොට දමා ඇත. ඇගේ අවශ්‍යතා ඉතා ක්‍ෂණිකය. ධනය, බලය, මෝස්තරවලට නැඹුරුවීම හැරුණුකොට ඇයට සැබෑ සතුට හමු වී නොමැත. මහලු මව දේවස්ථානයේ ගේට්ටුවෙන් පිටත බැලුවා ය. දියණිය දුරකථනයේ ය. ඇයගේ ඇහි බැමි තරහවෙන් හැකිළී ගෙනය.
දියණිය සිටින තැනට එනම් පහළට යෑම වඩා සුදුසුය. මහලු මාතාව ප්‍රවේශමෙන් ප්ලාස්ටික් බෑගය විවර කළාය. සුවඳ කැට පැකැට්ටුව අල්තාරය ඉදිරියේ විසුරුවා හැරියා ය.
පෝසිලේන් දෙවිවරුන් වන්දනාමාන කිරීම පිළිබඳ දියණිය නිතර තම මවට සමච්චල් කළාය.
සැබෑය. ඇය ඔවුන්ට කෙලෙස යාච්ඤා කරන්නද? ඇගේ ආධාරය පිණිස සෙරමික් කැබලිවලට පියාඹා යා හැකි යැයි ඇය කෙලෙස බලාපොරොත්තු වන්නද?
එහෙත් ඇයට ඇයගේම දෙවිවරු සිටියහ. ඇය යටත් කොටගෙන ඇති ධනයෙහි ප්‍රතිමාවන්හි බලය සහ ජයග්‍රහණය
ඇය සැමදා වන්දනාමාන කළාය.
දිනපතා කෙරෙන මේ ප්‍රතිමා වන්දනාවන් නිසා අවසානයේදී මහලු මවට නම් කිසිවක්ම ඉතිරි වී නැත්තා සේය. දියණියගේ අවශ්‍යතා මගින් හීන් සීරුවේ මවගේ ජීවිතය උරා බී අවසන ඇය ඉවත දමා ඇත. අල්තාරය ඉදිරියේ දැන් සිටිනුයේ ආත්මය රහිත හිස් කටුවක් පමණකි.
මාතාව මොහොතක් හඳුන්කූර දෙස බලා සිටියා ය. ඒ උදාසීන උෂ්ණත්වය, එහි දුඹුරු පැහැ පත්ල පමණක් ඉතිරි කරමින් හඳුන්කූර දවා හමාර කොට තිබුණි. දැන් එය පුපුරා හැලෙන්නට ආසන්නය.
තම චාරිත්‍රයේ අවසාන වතාවත ඉටුකරන්නට නැගෙනහිර දෙසට හිස නවා ආචාර කළ මහලු මව දේවස්ථානයෙන් සමුගැනීමේ වේදනාවට මෙන් දිගු සුසුමක් හෙළුවාය. ඇයට තම දියණිය මුණගැසුණේ දේවස්ථාන භූමියෙන් පිටතදී ය. තැති ගැන්මක්, කනගාටුවක් යන්තමින් ඇඳී තිබුණ ද දියණියගේ මුහුණේ පෙනුම පෙර පරිදිම විය. එක අතකට එහි හිස් ම හිස් හැඟීමක් විය.
ඇයට වුවමනා වී තිබුණේ එකම එක දෙයකි. ඒ අවශ්‍යතා නමැති පස පෝරු ගා සතුටේ බීජ වපුරන්නට පමණකි.
දෙදෙනා නිහඬවම රථයට ගොඩ වූහ. දියණිය අධිවේගී මාර්ගය දිගේ මෙවර රථය පදවාගෙන ගියේ පෙර පරිදි අධික වේගයකින් නොවේ.
“අම්මා” බී චූ අන්තිමේදී මව ඇමතුවා ය. “මං මේක කොහොම කියන්ඩද මන්දා. “මාක්” එක්කත් මං මේ ගැන ගොඩක් කතා කළා. අපි සැලසුම් කළා අපේ ලොකු ගෙදරින් අයින්වෙන්ඩ... මේ දවස්වල දේපළ වෙළෙඳාම හොඳයි. අපට මුණගැහුණා අපේ ගෙට මිලියන හතක් ගෙවන්ඩ කැමති ගැණුම්කාරයෙක්. ඒ වෙනුවට හොඳ සැප පහසු තනි පලේ ගෙයක් ගන්ඩයි අපි හදන්නේ. ධරජය්රා මාවතෙන් අපිට හොඳ තැනක් හම්බවුණා. අලුත් තැනකට යද්දි සේවිකාව අවශ්‍ය නෑ කියලත් අපි තීරණය කළා. එතකොට ඉඩ කඩ වැඩියෙන් ඉතිරි වෙනවනේ.”
මහලු කාන්තාව හිස වැනුවේ යමක් අවබෝධ කරගත්තාක් මෙනි. ඒ අතර ‘බී චූ’ යමක් ගිලගත්තා ය.
“ගෙදර වැඩ ටික ඇවිත් කර දීලා යන්නට කෙනෙක් හොයා ගත හැකි. කෑම අපිට පිටින් ගන්ඩත් පුළුවන්. හැබැයි, සේවිකාව ගියාම ඔයාව බලාගන්ඩ කෙනෙක් නැති වෙනවා. ඔයා ඒ ගෙදර පුදුම විදියට තනිවේවි. ගේත් පුංචි නෙ, ඉඩකඩත් මදිනෙ. අපි හුඟක් දුරට කල්පනා කළා. අන්තිමට තීරණය කළේ වඩාත්ම හොඳම දේ ඔයාව නිවාසෙකට යවන එක කියලයි...”
“හුගැංග් කිට්ටුව බොහොම හොඳ ක්‍රිස්තියානි නිවාසයක් තියෙනවා.”
මහලු කාන්තාව ඇසිපිය එසවූයේවත් නැත. “මං එතැනට ගියා. මේට්‍රන් කැමතියි ඔයාව ගන්ඩ. එතැන හරිම ලස්සනයි. ලොකු වත්තකුත් තියෙනවා. ඔයාගෙ වයසෙ අය ගොඩක් ඉන්නවා, යාළු මිත්‍රකම් පවත්වන්ඩ. ඔයා එහෙදි හැබෑවටම සතුටින් ඉඳීවි.”
තමාගේම කියමන් තහවුරු කරන්නට දියණිය තව දුරටත් එසේ පැවසුවා ය.
මේ වතාවේ මහලු මාතාවට වැරෙන් අල්වා ගන්නට පූජා භාණ්ඩ සහිත බෑගය තිබුණේ නැත. තදින් තෙතොල විකාගත් ඇය අසුනෙහි බඳ පටිය තදකර ගත්තාය. තවදුරටත් තමා අනවශ්‍ය තම දියණියගෙන් බේරී සිටින්නට එමගින් හැකිවෙතැයි ඇය සිතුවා සේය.
ගමන් කළ රිය අසුන තුළ ඈ ගිලී ගියාය. ඇගේ උරහිස් පහත වැටුණි. සුදු පැහැති අසුනෙහි ඇගේ ඇඟිලි සලකුණු පැහැදිලිව සටහන් විය.
“අම්මා” පසු පස බලන කණ්ණාඩිය තුළින් බලමින් දියණිය මව ඇමතුවා ය.
“ඔක්කොම හරිනෙ එහෙනම්!”
“ඔව්” මව පැවසුවේ මුදු ලෙසය. එහෙත් බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි හඬකිනි.
“එයින් ඔයා සතුටු වෙනවා නම්...” ඇය තවදුරටත් කීවාය.
“ඒ ඔයා වෙනුවෙන් අම්මේ, ඔයා එහෙදි මෙහෙට වඩා සතුටින් ඉඳීවි. හෙට ඔයාට එහේ යන්ඩ පුළුවන්. මං අපේ සේවිකාවට දැනටමත් කියලයි තියෙන්නේ. ඔයාගෙ බඩු අස්කරන්ඩ කියලා.”
එලයිනී පැවසුවේ ජයග්‍රාහී ලීලාවෙනි. හරියට න්‍යාය පත්‍රයේ සඳහන් තවත් එක වැඩසටහනක් නිමා වූවා සේය.
“මං දැනං හිටියා හැම දේම හොඳට සිද්ධ වේවි කියලා.”
එලයිනී පුළුල් මඳහසක් පෑවා ය. අම්මාගෙන් ගැලවී ගත්තා යැයි ඇය සතුටට පත් වූවා විය හැකිය.
දියණියගේ සන්තෘෂ්ටියට ඇති එකම බාධාව අම්මාය.
දැන් දියණිය ප්‍රීතියෙනි. නව පන්නයේ කාන්තාවකට අවැසි හැම දේම දැන් ඇය සතු කරගෙන ඇත. මුදල්, තත්ත්වය, ආදරය, රැකියාව, බලය ඈ සතුය. ඒ හැරුණු විට අම්මාගෙන් සහ ඇගේ පැරණි මෝස්තරයේ කිරුම්, මිනුම්වලින් නිදහස ද දැන් ඇයට ලැබී ඇත.
ඔව්, දැන් ඇය නිදහස් ය.
හදිසියේ ඇගේ දුරකථනය නාද විය. ඈ එහිවූ පණිවුඩය කියවා බැලුවා ය.
“ව්‍යාපාර අරමුදල 10% කින් ඉහළ නගී” ඔව්, නිසැක වශයෙන්ම ඒ පණිවුඩය දියණියගේ තත්ත්වය තවත් ඉහළට නංවනු ඇත.
දියණිය ජංගම දුරකථන තිරයේ දීප්තිය තුළින් ජීවිතයේ අර්ථය සොයමින් සිටියා ය. එහෙත් පසුපස අසුනේ සිටි තම මහලු මව සහ ඇගේ ඇසේ කඳුළු ඇය දුටුවේ නැත.

Nissanka Rajapaksa

unread,
Nov 26, 2025, 2:12:46 AM11/26/25
to INDRAKA group
39

කඳුළු තව ඉතිරියි

ෂර්මිලා බංදුනී දංවත්ත
නුවන් රාජකාරී කටයුත්තකට අනුරාධපුරයේ ගියේ ඊයේ උදේ. රජයේ මිනින්දෝරුවෙකු වන ඔහු නැවත පැමිණෙන්නේ සෙනසුරාදා හවස. දරුවෝ දෙන්නා පාසැල් ගියාට පස්සේ මුළු ගෙදරම පිරෙන්නේ දරාගන්න බැරි නිහැඬියාවකින්. උදේම උයලා පිහලා අස්කරාට පස්සේ ආයෙත් උයන්නේ රෑට. උත්පලා ඉක්මනින් ගේ අතුගෑවේ, බැංකුවට ගිහින් එන්න වුවමනාවක් තිබුණු හින්දයි.
දුරකථනය නාද වුණේ ඔය අතරයි.
" නුවන් වෙන්න ඇති "
කොස්ස බිත්තියට හේත්තු කරලා උත්පලා කඩිනමින් දුරකථනයට ගියේ පෙරදා රැයෙත් නුවන් කතා නොකල හින්දයි.

"හලෝ"

"හලෝ"
එහා කෙලවරින් ඇසුනේ නුහුරු ගැහැණු කටහඬක්.

"කවුද මේ"
උත්පලා ඇසුවේ අඩමානයට ය.

"මේ උත්පලා ද ?"

"ඔව් උත්පලා තමයි "

" මම සුභානී "
ඒ එක්කම ඇසුණේ සිහින් ඉකිබිඳුමක්.

"ඇයි සුභානි ,මොකක් හරි කරදරයක්ද?"

"මංජුල නැතිවුණා. පපුවේ අමාරුවක්. අවසන් කටයුතු හෙට හවස. "

උත්පලාට ඇසුනේ එපමණයි. දුරකථනය විසන්ධි කළ උත්පලා පුටුවක ඉඳගත්තා. බොහෝ වේලාවක් එකම ඉරියව්වෙන් ඉඳගෙන හිටියා. නැගිටලා ඉදිරිපස දොරේ අගුල දැමූ උත්පලා කාමරයට ගියේ ඇඳේ ඇලවෙන්න හිතාගෙන.හිස පුපුරන්නාක් මෙන් දැණුනත් ඇලවී ඉන්න හිත දුන්නෙත් නෑ. කාමරයේ එහාට මෙහාට ඇවිද්දේ අසිහියෙන් වගේ. අල්මාරිය ඇරගත් උත්පලා හෙව්වේ සාරි අතර සඟවා ඇති පරණ දින පොතක්. වසර ගණනාවක් පැරණි තරුණ යුවලකගේ ඡායාරූපයක් එතුළින් සොයාගත් උත්පලා ඡායාරූපය පපුවට තුරුළු කරගෙන ඉකිබින්දා.
ඒ හිනාව, ඒ කතාව, ඒ උණුසුම අමතක කිරීමට හැකි වූවානම් කොපමණ හොඳ දැයි උත්පලාට හිතුණා. මෙතරම් වසර ගණනකට පසුවත්, දැනෙන වේදනාව දරන්නට බැහැ. වෛරයක් ඉපදිය යුතු තැන ප්‍රේමයම ඉපදීම දුර්වල ගැහැණු ගතියක් බව දැන දැනත් ඉන් මිදීමට නොහැකි වීමේ වරදේ බරපතළකම හරියටම දැනුණේ අද.

"දෙවියෙක් වගේ මිනිහෙක් ළඟ ඉඳලත් මංජුලව අමතක කරන්න බැරි වීම නම් සංසාරගත කර්මයක් පලදීමක්." එහෙමයි උත්පලාට හිතුණේ
මංජුලයි, උත්පලයි එකම ගමේ. එකම ඉස්කෝලේ. දහම් පාසල් ගියෙත් එකට. දුරින් නෑ කමකුත් තිබුණා. ළමා විය පිය මං කරලා තරුණ වියට එළඹෙනකොට මංජුලගේ ඇස් වලින් උත්පලා දැක්කේ වෙනදා දකින සහෝදර බැඳීමට එහා ගිය බැඳීමක්.
"ඒක තමයි ආදරය " උත්පලා ආදරය අඳුරගත්තේ එහෙමයි .
උත්පලා ඉගෙනීමට ඒතරම් දක්ෂ නොවුණත් ගේ දොර වැඩ මහන්න, ගොතන්න, උයන්න කොයි දේටත් දක්ෂයි. ඒත් මංජුල ඉගෙනීමට කැපී පෙනෙන දක්ෂතාවයක් දැක්වූවා.
මංජුල විශ්ව විද්‍යාලයට යන දවසේ සතුට වගේම බයකුත් උත්පලාගේ හිතේ තිබුණා. තමන්ට මංජුල නැතිවෙයිද කියලා තියෙන බය හිත රිදෙව්වා. මංජුල වෙනස් වුණේ නැහැ. විශ්ව විද්‍යාලයට ගිය මංජුලමයි පිටවෙලා ආවෙත්.
විශ්ව විද්‍යලයෙන් පිටවුණු මංජුල මාර්ග සංවර්ධන අධිකාරියේ රැකියාවකට බැඳුණා. මුලදී මංජුල වැඩකළේ පිට පළාත්වල. ඒ කාලෙදිම ගමට කිට්ටුවෙන් ඉඩමක් අරගෙන ගෙයකුත් හැදුවා. ගෙයි වැඩ ඉවරවෙනකොටම කොළඹට මාරුවක් හදාගෙන උත්පලාව විවාහ කරගත්තා.
උත්පලා ගැස්සිලා නැගිට්ටේ වාහන නලා හඬකට.

"ස්කූල් වෑන් එක වෙන්න ඇති "
පපුව උඩ තිබුණු පිංතූරය කොට්ටය යටට තල්ලු කරපු උත්පලා අත් දෙකෙන් කොණ්ඩෙ හද හදා දිව්වේ දොර අරින්න. අරිනකොටත් දරුවෝ දෙන්නා දොර ළඟ.

"අම්මා අද පරක්කුයි " පුතා කිව්වේ හිනා වෙවී.

"අම්මට දොයිය ගිහිල්ලා "ඒ දුව

"ඒක තමයි මම කියන්නේ. ඉන්නකොට බැන්නට ,අපි නැති වුණහම අම්මට පාළුයි "
පුතා උත්පලගේ බෙල්ලේ එල්ලුණා.

" හා යමු ,යමු ඉක්මනට වොෂ් දාගෙන කාලා ක්ලාස් යන්නත් තියනවා " දුව ඉක්මන් වුණා.

"අද ක්ලාස් නොගිහින් ඉමු. අම්මට අසනීපයි වගේ " උත්පලා කිව්වා.

" හුරේ "
පුතා කෑගැහුවා
"අද ශ්‍රී ලංකා, ඉංදියා මැච් එක "

"නුවන්ට මේක කියනව ද? "
උත්පලා කීප වරක්ම දුරකථනය අතට ගත්තා. ඒත් හිත හදාගන්න බැරි වුණා.

" මීට පස්සේ මංජුල කියලා කෙනෙක් අපේ ජීවිත වල නැහැ."
නුවන් එහෙම කිව්වේ උත්පලාව විවාහ කරගත්ත දවසේ රෑ. එදා ඉඳලා කවමදාවත් මංජුලගේ නම ඒ වහල යට සඳහන් වුණේ නැහැ.
රෑට දරුවෝ දෙන්නට විතරක් රොටි පුච්චපු උත්පලා කෑවේ කෙසෙල් ගෙඩියක් විතරයි.

"හෙට දෙන්නම ගෙදර නවතින්න " රෑට කන අතරේ උත්පලා කිව්වා.

"ඒ මොකද ඒ " දුව බැලුවේ ඇස් ලොකු කරගෙන.

"හෙට අපිට මළ ගෙදරක යන්න තියෙනවා "
"කාගෙද"

"මගේ ළඟ නෑයෙක්ගේ "
"තාත්තත් එනවද " පුතා ඇහුවා.
"තාත්තට නම් එන්න බැරිවෙයි. "

"අනේ අම්මේ මට ඉස්කෝලේ වැඩ පාඩුවෙයි "
දහයේ පංතියේ ඉන්න දුව නහයෙන් ඇඬුවා.
අටේ ඉන්න පුතා නම් මොකුත් කීවේ නැහැ.

" අම්මා අද හරි අමුතුයි " දුව කීවේ උත්පලා දෙස කල්පනාවෙන් බලන ගමන්.

"මට උණ ගන්න වගේ ඔළුව කකියනවා.ඇඟත් රිදෙනවා "

දුරකථනය නාද වුණේ එවිටමයි. ඒ නුවන්. එදිනෙදා විස්තර මිසක් වෙන දෙයක් නුවන් ඇහුවේ නැහැ. උත්පලා කීවෙත් නැහැ.

වේලාසනම ඇඳට ගියත් උත්පලාට නින්ද ගියේ නැහැ. නුවන් දුර යන දවස්වලට තනියම නිදාගෙන පුරදු වුණත් එදානම් තනියම ඉන්න බැරි ගතියක් උත්පලාට දැනුනා.ඇඳෙන් නැගිටලා දරුවන්ගේ කාමරේ දොර ළඟට ගිය උත්පලා ,

"කවුද අද මාත් එක්ක නිදාගන්න එන්නේ" කියලා ඇහුවා.
අක්කයි, මල්ලී දෙන්නම පෙරෝන රෙදිත් අරගෙන ඇවිත් උත්පලාගේ දෙපසින් ඇලවුණා. උත්පලාට දැනුණේ හරිම ආරක්ෂිත බවක්. ඒ වගේම උණුසුමක්.දරුවෝ දෙන්නා ඉක්මනටම නින්දට වැටුණා. ඒත් නින්ද උත්පලාව රැවටුවා.

විවාහ වෙලා අවුරුද්දක් ගිය තැන උත්පලාගේත් මංජුලගේත් කැදැල්ලට දුවෙක් එකතුවුණා. මංජුල කොහොමත් කැමැත්තෙන් හිටියේ දුවෙකුට. මංජුල කවදත් වැඩ ඇරුණු ගමන්ම ගෙදර දුවගෙන එනවා. උත්පලාගෙනුත් දුවගෙනුත් තොර ලෝකයක් මංජුලට තිබුණේ නැහැ.

ඔය අතරේ මංජුලට උසස්වීමක් ලැබුණා. මෝට සයිකලෙන් ගිය මංජුල කාර් එකක් ගත්තේ දුවව තෙමන්න බැහැ කියමිනුයි. මංජුලට රාජකාරිත් වැඩි වූණා. නිතර දුර බැහැර යන්නත් සිද්ධ වුණා. නිවසේ ගතකරන කාලය අඩු වුණා. ඒත් උත්පලාට වචනයක වත් අඩුපාඩුවක් කළේ නැහැ.
දුවට අවුරුදු දෙක පිරෙන්නත් කලින් පුතා ලැබුණා. තමන් සියල්ලෙන්ම සම්පූර්ණ ගැහැණියක් කියලයි උත්පලාට හිතුණේ.

මංජුලගේ පුංචි පුංචි වෙනස්කම් දැනෙනකොට පුතාට මාස හයක් විතර ඇති. උදේට නිවසින් කෑම අරගෙන ගිය මංජුල එක පාරටම කිව්වා කෑම එපා කියලා. හේතුව විදියට කිව්වේ දරුවෝ දෙන්නත් එක්ක උත්පලාට පාන්දර නැගිටලා උයන්න තියන අපහසුව.

මංජුලගේ කලිසන් සාක්කුවක තිබිලා චිත්‍රපටියක් බලපු ටිකට් දෙකක් හම්බවුණත් උත්පලා සැක හිතුවේ නැහැ. ඒ පිටිපස්සේ එලෙව්වෙත් නැහැ.

උත්පලාගේ අයියට තමයි මංජුල වැඩකරන තැන කෙනෙක් සුභානි ගැන කියලා තිබුණේ. ඒ වෙනකොට සම්බන්ධය හුඟක් දුර ගිහින්. උත්පලා මංජුලට කිව්වා ඒ සම්බන්ධය නවත්තනවා නම් හැම දෙයක්ම අමතක කරන්න තමන් ලෑස්තී කියලා. ඒත් මංජුල කිව්වේ තමන්ට සුභානිව අමතක කරන්න බැහැ කියලා. එදාම හවස අයියව ගෙන්නවගත්ත උත්පලා දරුවෝ දෙන්නත් අරගෙන මහ ගෙදරට ගියා.

උත්පලාගේ දමව්පියෝ විශ්‍රාමික රජයේ සේවකයෝ. ඒ දෙන්නා විතරයි මහ ගෙදර හිටියේ. උත්පලා ගෙදර ගිහින් මාසයක් වෙන්නත් කලින් මංජුල දික්කසාද නඩු දැම්මා. උත්පලා කැමැත්තෙන්ම දික්කසාදය දුන්නා. දරුවන්ට නඩත්තු ඉල්ලුවෙත් නැහැ. ආදරය මියගිය තැනින් තව මොනවා අරගෙන යන්නද කියලා උත්පලාට හිතුණා.

උත්පලාට නින්ද යනවා උත්පලාවත් දන්නේ නැහැ. ඇහැරෙනකොට ජනෙල් තිර අතරින් ඉර එලිය කාමරයටත් වැටිලා. ඉක්මනට නැගිටලා කුස්සියට ගියේ මොනවා හරි උයලා තියලා යන්න හිතාගෙන.

" මම මේ කරන්න යන දෙය හරිද?
නුවන්ට නොකියා යන එක හොඳද?
නුවන් දැනගත්තොත් මොනවා හිතයිද?
ප්‍රශ්ණ ගොඩයි.

"ඒක ඒ වෙලාවට බලාගන්නවා. මොනවා වුණත් මම ළමයි දෙන්නත් එක්න මළගෙදර යනවා. "
උත්පලා හිත හදාගත්තා.

වසර ගණනාවකින් ඇවිත් නැති වුණත් තමන්ට තවමත් පාර හුරුපුරුදු බව උත්පලාට දැනුණා. මග දිගටම සුදු කොඩි දාලා. හැම තැනම තිබුණේ පාළු මූසල ගතියක්.

ත්‍රී රෝද රථයෙන් බැහැපු උත්පලා දරු දෙදෙනව දෑතින් ලංකරගත්තා. ගෙට ගොඩවන තැනදිම උත්පලාට සුභානිව මුණගැසුණා. කවදාවත් කතාබහ කර නොතිබුණත් දෙන්නට දෙන්නා දැකලා තියෙනවා උසාවියෙදි. ආචාර කරනකොට සුභානි උත්පලාගේ දෑතින් අල්ලගත්තා. ඒ අත් වෙව්ලන බව උත්පලාට දැනුණා. දෙදෙනාගෙම ඇස් වලින් කඳුළු කැට කඩාවැටුණා. ඒ දෙස දරු දෙදෙනා බලා හිටියේ පුදුමයෙන්. මංජුලගේ අම්මයි, නංගී දෙන්නත් ඇවිත් කතාකලේ දරු දෙන්නවත් අතගාමිනුයි. පිරිස අතර කසු කුසුවක් පැතිරෙන බව උත්පලාට ඉවෙන් වගේ දැනුණා.

ඒ කිසිවක් ගණනකට නොගත් උත්පලා මංජුලගේ දේහයට දණගහලා වැන්දා. දේහයට වඳින්න කියලා කියනකොට මදක් අදිමදි කළත් දරු දෙදෙනත් දණගහලම වැන්දා. උත්පලා පුටුවක ඉඳගත්තේ දරු දෙදෙනව දෙපසින් තියාගෙන. ගෙට ගිය සුභානි අවුරුදු දහයක විතර නිවුන් දැරියන් දෙදෙනෙකු කැඳවාගෙන විත්

"මේ මංජුලගේ දූලා දෙන්නා "
කියමින් හඳුන්වා දුන්නා.තමන්ගේ දියණියගේ කපාපු පලු නොවේදැයි හිතෙන විට උත්පලාගේ ඇස් වල නැවතත් කඳුළු පිරුණා.
උත්පලාට දැනුණේ තවත් එතන ඉන්න බැරි ගතියක්.

"යන්නම් " කියලා සුභානිට කියනකොට

"බණ සෙනසුරාදා " සුභානි කිව්වා.

කිසිවක් නොකියා එළියට බැස්ස උත්පලා දරු දෙදෙනත් සමග ත්‍රී රෝද රථයට ගොඩවුණා. මොන තරම් හිත පාලනය කරගන්න හැදුවත් නැවත නැවතත් දෑසට කඳුළු පිරුණා.

" අර නංගිලා දෙන්නා අක්කා වගේමයි " පුතා කියනවා ඇහිලා උත්පලා ගැස්සුණා.

ඒ එක්කම උත්පලාට නුවන්ව මතක් වුණා. එකම පාසලේ ඉගෙනගත් නුවන්ව කාලෙකට පස්සේ නැවත උත්පලාට මුණගැසුණේ මංගල උත්සවයකදී. නුවන් හිටියේ මංජුලගේ පංතියේ. නුවන් දැනගෙන ඉඳලා තියෙනවා උත්පලාගේ දික්කසාදය ගැන.

"ඕවා ඕන තරම් සිද්ධ වෙන දේවල්.ජීවිතය එතනින් නවතින්නේ නැහැ." එහෙමයි නුවන් කිව්වේ.
ඊට සතියකට විතර පස්සේ නුවන් ගමේ ආපු වෙලාවක උත්පලාගේ ගෙදර ආවා. නුවන් එදා දරුවෝ දෙන්නව දැක්කා. දරුවෝ දෙන්නව හුරතල් කළා. දෙවෙනි දවසේ ආවේ අම්මත් එක්ක. ඒ උත්පලාට මංගල යෝජනාවකුත් අරගෙන. මුලදි නම් උත්පලා බැහැම කියලමයි කිව්වේ. අවුරද්දක් විතර නුවන් යන එන කොට දරුවෝ නුවන්ට හුරු වුණා. ළං වුණා. තමන්ගේ තාත්තා නුවන් කියලයි දරුවෝ හිතුවේ.

උත්පලාටත් ඒත්තු ගියා නුවන් හොඳ කෙනෙක් කියන එක. අම්මයි, තාත්තයි කිව්වේ වෙන ආදායමක් නැති උත්පලා තමන් නැති කාලෙක අසරණ වෙන බවයි. ඒ වෙනකොට උත්පලාගේ හිතෙත් නුවන් පිළිබඳ ආදරයක් හටගෙනයි තිබුණේ.

තමන්ගෙම දරුවන්ට වගේ උත්පලාගේ දරුවන්ට ආදරය කරපු නුවන් කිසිමදාක ඔවුන් මංජුලගේ දරුවන් කියලා හිතුවේ නැහැ. දරුවෝ නම් දන්න එකම තාත්තා නුවන්.

ත්‍රී රෝද රථය නිවස ඉදිරිපිට නවත්වන්ටත් පෙරම උත්පලා දැක්කා ගේට්ටුව ඇරලා දාලා තියෙන බව.බැහැලා බලනකොට තමයි දැක්කේ මිදුලේ නවත්වලා තියෙන නුවන්ගේ කාර් එක.

" ඔයාලා කොහෙද ගියේ මම කෝල් කලාට ෆෝන් එක වැඩකළේ නැහැ " නුවන් කිව්වා.

කිසිවක් නොකී උත්පලා, දුවට යතුර දුන්නා දොර අරින්න.

"ආරංචිය ලැබුණු ගමන්මයි දුවගෙන ආවේ."
නුවන් උත්පලාගේ අත් දෙකෙන් අල්ලාගත්තා.

" දුක් වෙන්න එපා. මංජුල නැතිවෙලා . දරුවෝ දෙන්නත් එක්ක ගිහින් එමු ."

මොනවා කියන්නද කියලා හිතාගන්න බැරිවුණු උත්පලා නුවන්ගේ පපුවේ හිස හොවාගෙන ඉකිබින්දා. නුවන් වෙනුවෙනුත් හෙළන්න කඳුළු උත්පලා ළඟ තවත් ඉතිරිව තිබුණා.

 https://www.heladiva.lk/%e0%b6%9a%e0%b6%b3%e0%b7%94%e0%b7%85%e0%b7%94-%e0%b6%ad%e0%b7%80-%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b7%92/

Nissanka Rajapaksa

unread,
Nov 27, 2025, 12:22:04 AM11/27/25
to INDRAKA group
40

කර්නල්ගේ අශ්වයා

බිෂ්වේෂ්වර් ප්‍රසාද් කොයිරාල

(නේපාල ජාතික බිෂ්වේෂ්වර් ප්‍රසාද් කොයිරාල Bishweshwar Prasad Koirala úiska The Colonel’s Horse නමැති කෙටිකතාව.)

පරිවර්තනය:
එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ

තමා සමග මහලු වියේදී විවාහ වූ තරුණ බිරිඳකට ආදරය නොකරන්නේ කවුරුන්ද? කර්නල්වරයා තම බිරිඳට අතිශයින් ආදරය කළේය. ඇයගේ වයස අවුරුදු දහනමයකි. තම බිරිඳ සතුටු කිරීම සඳහා ඔහු නිවසට පැමිණෙන සෑමවිටම ඇයට යමක් මිලදී ගැනීමට පුරුදුව සිටියේය. සාරි, පවුඩර්, වළලු, කරාබු සහ තවත් බොහෝ දේ ඒ අතර විය. හතළිස් පස් හැවිරිදි කර්නල්වරයාගේ ආදරය ඇයට ප්‍රමාණවත් නොවීය.

බිරියගේ හදවත කිසිවිටෙකත් කර්නල්වරයා කෙරෙහි ආකර්ෂණය වූයේ නැත. සැමියා ඇයව සතුටු කිරීමට ලියූ ලිපිවලින් පිරුණු එම කාමරයේම වාඩි වී ඈ තනිවම හඬා වැලපුණාය. තම සැමියාගේ නිවසට ඈ පැමිණියේ මහත් අපේක්ෂාවකින් හා උද්යෝගයකිනි. ඔහුගෙන් අසීමිත සතුටක් අපේක්ෂා කළ ඈ, අතීතය ගැන සිතමින් සුසුම්ලෑවාය. ඇයගේ විවාහයට පෙර, අසල්වැසි තරුණයකුට තම ආදරය ප්‍රකාශ කර තිබුණි.

කවරෙකුගේ වුවද ඇස ගැටෙන පෞරුෂයක් තරුණයා සතුව තිබුණි. ඒ සිදුවීම සිහිපත් කරන සෑමවිටම ඇයට සතුටක් දැනුණි. කර්නල්වරයා පිළිබඳ මිහිරි පරිකල්පනයෙන් සිටි ඈ එම තරුණයාව ප්‍රතික්ෂේප කළාය. ඇයට තරුණයා වරින් වර සිහිපත් වුවද ඉටු නොවූ ආශාව පමණක් ඈ තුළ හොල්මන් කළේය. කලබලයෙන් ඈ කාමරය පුරා බැලුවාය. කාමරයේ තිබූ ලිපි ඇයට සමච්චල් කරන බවක් පෙනෙන්නට තිබුණි. තමාව සතුටු කිරීමට කර්නල්වරයා ගෙන එන ලද බොහෝ දේවලින් වට වූ තමා සිරකාරියක් යැයි ඇයට සිතුණි.

ඒ අතර කර්නල්වරයා මිලදීගත් දේවල් රැගෙන කාමරයට ඇතුළු විය. සමහරක් ඔහුගේ අත් යට ද තවත් සමහරක් ඔහුගේ අත්වල එල්ලෙමින් ද තිබුණි.

“මගේ වස්තුවේ මම ඔයාට ගත්ත දේවල් මොනවද බලන්න.” කර්නල්වරයා ඇය ඉදිරිපිට දේවල් ගොඩක් තබමින් කතා කළේය. බිරිය කර්නල්වරයා දෙස උදාසීන ලෙස බලා පසුව ඉදිරිපිට ඇති අයිතම වෙත තම දෑස යොමු කළාය.

“මම ඔයාට කීපසැරයක් කියලා තියෙනවාද මට මේ හැම දෙයක්ම ඕන නෑ කියලා. ඇයි ඔයා ඒවට සල්ලි නාස්ති කරන්නේ?” ඈ කඳුළු පිස දමමින් කතා කළා ය.

“ඇයි ඔයා හැමවෙලේම කනස්සල්ලෙන් වගේ ඉන්නේ? ජීවිතය භුක්ති විඳින්න කැමති තරුණ කාලය. හොඳ කෑම කන්න, අලුත් ඇඳුම් අඳින්න., ඔයාගේ ප්‍රශ්නය මොකක්ද? මට කියන්න.” කර්නල්වරයා ආදරයෙන් අසා සිටියේ ය.

ඔහුට පිළිතුරු දීමෙන් ඵලක් නැති බව බිරිය සිතුවා ය. ඇයගේ ගැටලුව තේරුම් ගන්නේ කවුරුන්ද? අවුරුදු හතළිස් පහක් වයසැති මිනිසකුට දහනව හැවිරිදි ගැහැණු ළමයකුගේ හැඟීම් කිසිවිටෙකත් තේරුම්ගත නොහැකි ය.

ඉන් පසු කර්නල්වරයා නිහඬව වාඩිවී සිටි තම බිරිඳ ආදරයෙන් ඔසවා ගත්තේ ය. ඒ මොහොතේ ඇයට තම හදවතේ වේදනාකාරී හැඟීම් අමතක විය. ඇයගේ බර දරාගත නොහැකිව කර්නල්වරයා බිම වැටුණි. හදිසියේම ඇයගේ සිහිනයේ හුය කැඩී ගියේ ය. ඇයව ඔසවා තැබීම සඳහා කර්නල්වරයා හුස්ම හලනවිට ඈ වෛරයෙන් ඔහු දෙස බැලුවා ය. එතැන් සිටම ඇයගේ මනසෙහි තම සැමියා කෙරෙහි දැඩි වෛරයක් වර්ධනය වන්නට විය.

දිනක් කර්නල්වරයා සහ ඔහුගේ බිරිය ඔවුන්ගේ ගෙවත්ත පරීක්ෂා කරමින් සිටියහ. කර්නල්වරයා විදේශ රටකින් ගෙන එන ලද දෙමුහුන් එළදෙනුන් පස් දෙනකු ඇති දැඩි කළේ ය. ඔවුන් දෙදෙන ගව ගාලේ සතුන් නිරීක්ෂණය කරමින් සිටියහ. ගව ගාලට ආසන්නව ඔහුගේ අශ්ව ගාල පිහිටා තිබුණි. හේෂාරාවය ඇසීමෙන් බිරිය,

“ඔයා අශ්වයන් ඇතිකරනවද? මම දැනගෙන හිටියේ නැහැනේ” යනුවෙන් පැවසුවා ය.

කර්නල්වරයා මහත් ආශාවෙන් සුදු අශ්වයෙකු මිල දී ගෙන තිබුණි. ඔහුම ඌව පෝෂණය කළේය. ඔහු සෑම දිනකම ඌව ස්නානය කරවූයේ ය. සෑම උදෑසනකම ඔහු අශ්වයා පිට නැගී නැවුම් වාතය විඳගැනීම සඳහා ඇවිද ගියේ ය. පසු ගිය කාලයේ ඔහුට අශ්වයා කෙරෙහි අවධානය යොමු කිරීමට නොහැකි විය. ඔහු එක්දිනයක් හෝ අශ්වයා පිට නැගී ගියේද නැත.

“අපි එතැනට ගිහින් බලමු” ඔහු යෝජනා කළේ ය.

තම ස්වාමියා දුටු අශ්වයා තම ඉදිරිපස කුර බිමට ගසමින් දැඟලීමට පටන් ගත්තේය. අඳුරේ බැඳ තිබූ අශ්වයාගේ දෑස දීප්තිමත් ලෙස බැබලුණි. අශ්වයා හේෂාරාවය නඟද්දී, උගේ නාස්පුඩු පුළුල් ලෙස දිස්වුණි. උගේ නහර සර්පයෙකු මෙන් කකුල් වටා ඇඹරී ගියේ ය. කර්නල්වරයාගේ බිරියට එම සතා ආදරණීය වස්තුවක් විය. ඈ ඌව ස්පර්ශ කිරීමට උත්සාහ කළ විට, ඊට ඉඩ නොදී, ඇයව හපාකන බවට තර්ජනය කරන්නට මෙන් උගේ බෙල්ල පැත්තට ඇලකර ගැස්සුවේ ය..

කෙසේ වෙතත් අශ්වයාගේ එවැනි හැසිරීම ඇයව බිය ගැන්වීමට සමත්වූයේ නැත. ඒ වෙනුවට ඈ ඌ කෙරෙහි වැඩි වැඩියෙන් ආකර්ෂණය වූවා ය.

“ඔයාට ඉන්නේ හරිම ශක්තිමත් අශ්වයෙක්! මම හිතන්නේ එයාට නිසි සැලකිල්ලක් නැහැ.” ඈ පැවසුවා ය.

“මුලදී මම එයාව රැකබලා ගත්තා. මම හැමදේම බලා ගන්නේ කොහොමද? දැන් ඒ වැඩ අස්ගොව්වෙකුට භාර දීලා තියෙනවා.”

“මම ඒ ගැන බලාගන්නම්. අස්ගොව්වා විශ්වාස කරන්නේ කොහොමද? අවශ්‍ය වෙලාවට පෝෂණය කළත් නැතත් අස්ගොව්වන් හොරකම් කරලා රහසිගතව විකුණනවා. ඒ නිසා හිමිකාරයා ම සතුන් රැකබලා ගන්න ඕනෑ.” කර්නල්වරයාගේ බිරිය පවසා සිටියා ය.

කර්නල්වරයා සිහින් සිනහවක් පෑවේ ය. ඔහු ඊට කිසිදු පිළිතුරක් දුන්නේ නැත. පසුදා සිටම කර්නල්වරයාගේ බිරිය අශ්වයාට කෑම දීමට පටන් ගත්තා ය. මුලදී අශ්වයා ඇයට ළංවීමට ඉඩ දුන්නේ නැත. ඈ අශ්වයා කෙරෙහි ඇති ආදරය හා සැලකිල්ල හේතුවෙන් ක්‍රමයෙන් උගේ හදවත දිනා ගත්තා ය. ආහාර අනුභව කරන අතරතුර, ඈ අශ්වයා අසල සිටගෙන උගේ පිට මත දෑත් තැබුවා ය. ඇයගේ අත්ල උගේ ශරීරය ස්පර්ශ කරන සෑම විටම අශ්වයා බිය උපදවන වෙව්ලීමක් ඇති කළේ ය. ආහාර බඳුනෙන් උගේ හොම්බ ඉවත් කළ අශ්වයා කෙඳිරිගාමින් නැවත කෑමට පටන් ගත්තේ ය. නිශ්ශබ්දතාවය බිඳ දමමින් උගේ කුරවලින් වරක් හෝ දෙවරක් අශ්වගාලේ ලෑලිවලට පහර දුන්නේ ය.

මැස්සන් අශ්වයාට කරදර කරන අවස්ථා ඈ දැන ගත්තා ය. අශ්වයා හොඳින් රැකබලා ගැනීම ගැන ඈ සෑහීමකට පත් වූවා ය. කර්නල්වරයා එයට කැමති වූයේ නැත. මුළු දවසම ඉස්තාලයේ ගත කිරීම ඔහු අනුමත කළේ නැත. අස්ගොව්වා සිටියදීත් ඈ තනිවම ඉස්තාලයේ අශ්වයා රැක බලා ගන්නේ ඇයි? ඇයම අශ්වයා පිරිසිදු කිරීම ආරම්භ කරන්නේ ඇයි? ඔහුගේ සිතට වද දුන්නේ ය.

දිනක් කර්නල්වරයා තම බිරියට මෙසේ පැවසීය,

“ඔයා අශ්වයා ගැන ඔය තරම් කරදර වෙන්නේ ඇයි? ඔයා කිසිදාක කුස්සිය ගැන තැකීමක් කරන්නේ නැහැ. එතැන වෙන්නේ මොකක්ද කියලවත්? නමුත් ඔයා අශ්වයා ගැන සැලකිලිමත් වෙනවා!”

“මම, හැම තිස්සෙම කුස්සියට කොටුවෙලා ඉන්න ගැණියෙක් නෙමේ. මට අවශ්‍ය වෙලාවට ඕනෑ දෙයක් මම කරනවා. අශ්වයා රැකබලා ගැනීමෙන් මට සහනයක් ලැබෙනවා. ඒක ඔයාට දරා ගන්න බැරිද?.” ඇයගේ හඬ කෝපයෙන් පිරී තිබුණි.

“ඔයාට මොකක්ද තියෙන ප්‍රශ්නේ; මට කියන්න? අස්ගොව්වෙකු වෙලා ඔයා හිතේ සාමය නැති කර ගන්නේ ඇයි? ඔයාටත් මා වෙනුවෙන් කරන්න යුතුකමක් තියෙනවා. අශ්වයා ගැන හිතන තරම්ම ඔයා කවදා හරි මං ගැන හිතුවද? ඇත්තටම මිසිස් කර්නල්, ඔයාගේ හැසිරීම නිසා මගේ හිතේ අශ්වයා ගැන ඊර්ෂ්‍යාවක් ඇති වෙලා තියෙන්නෙ.” හුස්ම හිරවෙන හඬකින් කර්නල්වරයා කතා කළේ ය.

කර්නල්වරයාගේ බිරිය කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. වෛරයෙන් තොල් හපා ගනිමින් ඈ තම සැමියා දෙස බැලුවා ය. මෙතරම් මහලු වියේදී කර්නල්වරයාගේ දෑස කඳුළුවලින් පුරවා ගැනීම නුසුදුසු හා පිළිකුල්සහගත බවක් ඇයට පෙනෙන්නට තිබුණි. ඔහුට කොතරම් වෛර කරනවාද යන්න පෙන්වීමට ඈ සිතුවා ය. නමුත් තමාවම පාලනය කර ගත් ඈ හදිසියේම නැඟිට සිටියා ය.

දිනක් කර්නල් ඔහුගේ බිරිය සමග ඉස්තාලයට ගියේ ය. කර්නල්වරයා අශ්වයා පිට නැඟීමේ ආශාව පෙන්නුම් කළේ ය. ඔහු අශ්වයා ළඟට යන සෑම අවස්ථාවකම ඌ තර්ජනය කළේ ය. කර්නල්වරයාගේ බිරිය ළඟට ගිය විට, ඌ ඒ වෙනුවට හේෂාරාවය කළේ ය. ඈ අශ්වයා ළඟට ගොස් ඌව අත ගෑමට පටන් ගත්තා ය. තම කුරවලින් ලෑලි ගෙබිම පහුරු ගාමින් ඌ ඊට තම කෘතඥතාව පළ කළේ ය.

කර්නල්වරයා ඉතා අපහසුවෙන් අශ්වයා පිට නැඟීමට සමත් වූ නමුත් අශ්වයා ඔහුගේ පාලනයට නතු වූයේ නැත. ඔහු තම ඉදිරිපස ගාත්‍ර දෙකම ඔසවා ඉදිරියට යෑම වෙනුවට ඊට විරුද්ධ වීමට පටන් ගත්තේ ය. කර්නල්වරයා අශ්වයන් පිට යෑමට දක්ෂයකු වූ බැවින් ඔහු බිම වැටුණේ නැත. කෙසේ වෙතත්, ඔහු හදිසියේම කෝපයට පත් වූ අතර කසයෙන් සතාට පහර දීමට පටන් ගත්තේ ය. කර්නල්වරයා අශ්වයාට පහර දෙන අවස්ථාවේ ඔහුගේ බිරිය “හරිම කෲරයි!” යනුවෙන් කෑ ගැසීමට පටන් ගත්තා ය.

ඔහුගේ දරුණු පහරදීම හමුවේද අශ්වයා ඉදිරියට යෑමට අකමැති විය. කර්නල්වරයා දෑස වසාගෙන තවදුරටත් අශ්වයාට වඩාත් දරුණු ලෙස පහර දෙමින් සිටියේ ය. අශ්වයා උගේ පසුපස කකුල් දෙකම ගසා දැමුවේ ය. ඔහු අශ්වයාට පහර දීමට යුහුසුළු වූ බැවින් ඔහුගේ සමබරතාව ගිලිහී ගියේ ය. හිස පහත් කරගෙනම අශ්වයා මතින් කර්නල්වරයා බිමට වැටුණි. ඒ වන විට කර්නල්වරයාගේ බිරිය අශ්වයා වෙත ළඟා විය. දූවිලි ගොඩේ සිටි සැමියා කෙරෙහි කිසිදු අවධානයක් යොමු නොකර ඈ අශ්වයාට පහර දීමට පටන් ගත්තා ය. කෝපය නිසා, අශ්වයාගේ නාස්පුඩු විශාලවී ගිය අතර උගේ නාසයෙන් මහත් වේගයෙන් උණුසුම් හුස්ම පිට කිරීම ට පටන් ගත්තේ ය. අශ්වයා ජයග්‍රාහී විය. උගේ පරාජිත සතුරා දූවිලි මත බිම වැතිර සිටියේ ය.

කර්නල්වරයාගේ බිරියට අශ්වයාගේ බලය ගැන කිසිදු සැකයක් නොතිබුණි. අශ්වයා ඇයට ආඩම්බරයට කාරණයක් විය. ඝන කේශරයකින් වැසී ඇති අශ්වයාගේ බෙල්ලට ඈ ආදරයෙන් තම කම්මුල් තැබුවා ය. අශ්වයා පිට නැඟීමේ ආශාව ද ඇයට ඇති විය. පා පටිය මත ඇයගේ පාද තැබීමෙන් ඇය පහසුවෙන් අශ්වයා පිටට නැග ගත්තා ය. ඇයගේ සැමියා තවමත් බිම වැතිර සිටියේ ය. අශ්වයා පිට නැඟී සිටි ඇයට මහත් සතුටක් දැනෙන්නට විය. ඇයට තම සැමියාගෙන් පළිගැනීමට අද අවස්ථාවක් ලැබුණි. අශ්වයා කෙරෙහි ඇයගේ ආදරය තවත් වැඩි විය. ඇයගේ බෙල්ල හරවා බලන අවස්ථාවේ තවමත් දූවිලි මත වැතිර සිටි සැමියා දෙස වෛරී බැල්මක් හෙළා අශ්වයාට සන් කළා ය. මල් කලඹක් පිට මත තබාගත් අයුරක් පළ කරමින් අශ්වයා වේගයෙන් දුවන්නට පටන් ගත්තේ ය.

ඇය ආපසු එන විට, කර්නල්වරයා එහි සිටගෙන සිටියේ ය. ඔහුගේ කබායේ දූවිලි පැල්ලම් කිහිපයක් තිබූ අතර, ඔහුගේ කොණ්ඩය අවුල් වී තිබුණි. ඔහුගේ තොප්පියේ පවා තවමත් දූවිලි තිබුණි. අශ්වයා කර්නල්වරයා අසළ නවතාලීමෙන් පසු ඈ ඉක්මනින් බිමට බැස්සා ය. අශ්වයා කන් සිදුරු කරන ශබ්දයක් නිකුත් කරමින් හේෂාරාවය කළේ ය. තම ජීවිතයේ කිසිදිනෙක මෙතරම් විශාල සතුටක් කර්නල්වරයාගේ බිරිය අත්විඳ නොතිබුණි. මේ අතර දෙවරක් ‘බෑන්ග්’ ශබ්දය ඇසුණි.

සුළු මොහොතකින් අශ්වයා බිම වැටුණි. කර්නල්වරයාගේ අතේ පිස්තෝලයක් තිබූ අතර එම මොහොතේත් එහි සිදුරෙන් දුම් පිට වෙමින් තිබුණි. අශ්වයාගේ උදරයෙන් රුධිරය ගලා යමින් තිබුණි. කර්නල්වරයාගේ බිරිය අශ්වයා දෙසත් තම සැමියා දෙසත් නැවත නැවතත් බැලුවා ය. එසැණින් ඇයගේ මුහුණ රැළි වැටී විකෘති විය. දෑතින්ම මුව වසාගෙන ඇය ද බිම ඇද වැටුණා ය.


https://www.divaina.lk/features/44188?fbclid=IwY2xjawOTh0lleHRuA2FlbQIxMQBzcnRjBmFwcF9pZAwzNTA2ODU1MzE3MjgAAR4wy1EaYH-2jxCRjb9eEBVIckq1B-YiQ9N8nmJWibxVmevoTg-p4qeqfj82Cg_aem_wsJVnWKjlQOJrFiitRkIjQ

Nihal Ananda

unread,
Nov 28, 2025, 5:33:35 AM11/28/25
to ind...@googlegroups.com
හොඳ කතාවක් ....... නේද ?

Nissanka Rajapaksa

unread,
Nov 29, 2025, 4:38:50 AM11/29/25
to INDRAKA group
41
අප්පච්චි

චන්ද්‍ර­සිරි සෙනෙ­වි­රත්න

හෙමි­හිට පිය­වර තබා උසා­වි­යෙන් එළි­යට පැමිණි තිල­ක­සි­රිට කවුදෝ සිය දකු­ණත අල්ලා මිරි­කා­ගනු දැනිණ. හැරී බැලූ විට ඒ තම බිරිය බව හේ දැක්කේය. අඹු සැමි යුවළ කිසි­වක් කතා නොකර, උනුන් දෙස මොහො­තක් බලා සිටි­යහ.

“දැන් හරි නේ. ප්‍රශ්නේ ඉව­රයි.” බිරිය එසේ කී විට තිල­ක­සි­රිට හයි­යෙන් ඉකි­ගැ­සිණ.

“චී! අඬන්න එපා. මිනිස්සු දකියි.” සැමි­යාගේ අත තවත් තදින් මිරිකා ගත් බිරිය කීවාය.

“මෙච්චර දව­සක් මට වඩා ඇඬුවේ ඔයා.” එසේ කී තිල­ක­සිරි බිරි­යගේ අත මෘදු­වට පිරි­මැද සිනා­සිණ.

ඒ සම­ඟම, තමන් වෙනු­වෙන් පෙනී සිටි නීති­ඥයා තමන් වෙත එනු දුටු දෙදෙ­නාම ගොලු වූහ. එතෙක් අල්ලා­ගෙන සිටි සිය සැමි­යාගේ අත ලජ්ජා­වෙන් මුදා­හළ බිරිය තමා වෙත පැමි­ණෙන නීති­ඥ­යාට හිස නමා ආචාර කළ අතර, තිල­ක­සිරි දණ­ගසා වැඳ­වැ­ටුණේ වැඩි­හි­ටි­යකු දුටවා මෙනි.

“ඇයි මේ? මට වඳින්න එපා.”

“වැඳලා මදි සර්. කරේ තියා­ගෙන යන්න හිතෙ­නවා.” වසර කිහි­ප­යක් තිස්සේ මළ මිනි­යක්ව හැසි­රුණු තම සැමි­යාගේ මේ හැසි­රීම ගැන බිරි­යට පැව­තියේ උතුරා යන සතු­ටකි.

“වර­දක් කළ කෙනෙක් සහ වර­දක් නොකළ කෙනෙක් හරි වෙනස්. අපේ රස්සා­වේදී මේ දෙගොල්ල හඳු­නා­ගන්න අපට අප­හසු නැහැ.” එසේ කී නීති­ඥයා නිහඬ විය.

“එදා උසා­වි­යේදී නඩු­කාර උන්නාන්සේ අත්හි­ටුවූ සිර­ද­ඬු­ව­මක් දෙන්න කැමැ­තිද අහන කොට ඔබ­තුමා විරුද්ධ වුණාම මට බය හිතුණා.”

“ඒ මොකද?”

“නොකළ වර­ද­කට ඇයි මට අච්චු කරන්නේ කියලා.”

“ඒක තමයි මම කැමැති නොවුණේ. මට තමුන් නිද­හස් කර ගන්න පුළු­වන් කියලා විශ්වා­ස­යක් තිබුණා. අර ගෑනු ළම­යා­ගෙන් පහළ උසා­වියේ හරස් ප්‍රශ්න අහද්දී ‘තමන්ගේ කාම­රේට ඔය කියන තැන පේන­වාද?’ කියලා ඇහුව නම් එයා කියන්නේ එයාගේ කාමරේ තියෙන්නේ පාර පැත්තෙන් කියලා. ‘ඇයි තමා අයි­යාගේ නිදන කාම­රේට ඇවිත් චුදි­තගේ ගේ දිහා බලා­ගෙන හිටියේ?’ කියලා ඇහු­වාම ඒ දැරිය කිය­නවා ‘ඒක අපේ ගෙදර නේ’ කියලා. එත­කොට අර ගෙදර තමුන්ගේ නෙවෙ­යිද? ඒ දැරි­යට තමන්ගෙ අයි­යාගේ කාම­රේට එන්න තියෙන අයි­තිය, තිල­ක­සි­රිට ගෙදර ඉඳන් ඉකි­ලිය කහන්න නැදද? මම මේ ටික කිය­වලා චෝදනා ඔප්පු කර නැති බව තහ­වුරු කළා. දැන් ගමට ගිහින් කියන්න ‘මං නිද­හස්’ කියලා.” නීති­ඥයා සිනා සෙමින් කීය.

“අනේ ඕනැ නෑ. වැර­දි­කා­රයා වුණාම ලජ්ජා­වෙන් බිම බලා­ගෙන ගියා වාගේම, අද අපි දෙන්නා ගමට යන්නෙත් මොන­වත් නොවුණා වාගේ මහ­ත්තයෝ. වර­දක් නොකළ අපෙ හිත් හොඳයි.”

ඊට කිසි­වක් නොකී නීති­ඥයා දෙදෙ­නා­ටම සුබ පතා යන්නට ගියේය.

“තේ එක­ක්වත් බීලා යමු නේද?” තිල­ක­සිරි කළ යෝජ­නාව ඇසූ බිරිය නැවත සිය සැමි­යාගේ අත අල්ලා­ග­ත්තාය.

“නෑ මහ­ත්තයෝ. ගෙදර ගිහින් මං හදලා දෙන තේ එක බොන්න ඉක්ම­නට ගෙදර යං. අපි කවදා උසා­වි­ය­කට ආව මිනි­ස්සුද? මට මෙතන ඉන්නත් බයයි අනේ.”

වසර ගණ­නා­වක් ගබඩා පාල­ක­යකු හැටි­යට රස්සාව කළ තිල­ක­සිරි සාධා­රණ මිනි­සෙකි. උපන් ප්‍රදේ­ශ­යෙන් පිට වෙන්දේසි කළ ඉඩම් කෑල්ලක් මිලට ගෙන, සිය පවුල සමග පදිංචි වූ හෙතෙම අර­මු­ණක් ඇතිව කළ එකම දේ දරු­වන් දෙදෙ­නාට ඉගැ­න්වීම පම­ණකි. මේ වන විට දුවත් පුතාත් විදේ­ශ­ග­තව රස්සා කරති. සම­හර විට ඔවුන් ආපසු ස්ථිර පදිං­චිය සඳහා ලංකා­වට නොඑ­න්නත් පුළු­වන. මේ කාල­කන්නි නඩුව වැටෙන තෙක් තිල­ක­සිරි පවුල කල්පනා කළේ දරු­වන් නැවත තමන් සමඟ ජීවත් වීමට ලංකා­වට පැමි­ණිය යුතුය කියාය. ඉටු වුණා හෝ නොවුණා හෝ ඔවුහු දෙදෙනා ඒ කල්ප­නා­වෙන් දවස් ගත කළහ.

මේ සිද්ධිය සිදු වන විට විදේ­ශ­ග­තව නොසිටි සිය දිය­ණිය විදේ­ශීය විශ්ව­වි­ද්‍යා­ල­යක මෙරට ශාඛා­වක උග­න්ව­මින් සිටි­යාය. විදේ­ශ­ගත වීමට කිසිදු කැමැ­ත්තක් නොදැක්වූ ඇය කඩි­න­මින් විවාහ වී, රස්සා­වක් සොයා­ගෙන විදේ­ශ­ගත වීමට තීර­ණය කළේ මේ සිද්ධි­යට පසුව වුවද, කොයි අව­ස්ථා­වක හෝ ඒ ගැන දිය­ණිය සමඟ කතා නොක­ර­න්නට දෙම­හල්ලෝ වග­බ­ලා­ගත්හ. දිය­ණිය රට හැර යෑම ගැන විස්සෝ­ප­යෙන් තිල­ක­සිරි කෙඳි­රිගෑ හැම මොහො­ත­කම බිරිය කීවේ ‘අම­තක කරලා දාන්න. තමන්ට තමන් විත­රයි’ කියාය.

උපන් ප්‍රදේ­ශ­යෙන් පිට පළා­තක නුහුරු ජන සමූ­හ­යක් අතර පදිං­චිව සිටි තිල­ක­සිරි තමාගේ වැඩක් බලා­ගෙන සිටියා මිස, කා සම­ඟ­වත් වැඩි පයි­රු­පා­ස­න­යට ගියේ නැත. දෙම­හල් නිවෙ­සක් තනා, ඉඩම වටේට තාප්ප­යක් බැඳ­ගෙන ජීවත් වූ තිල­ක­සි­රිලා සමඟ අස­ල්වැසි ගෙදර උද­විය දොර­ක­ඩට පැමිණ අඬ­ද­බර කළහ. මෙසේ ඇදී ගිය ආර­වුල ගැන ලැබුණ පැමි­ණිල්ල පරීක්ෂා කළ ප්‍රාදේ­ශීය සභා බල­ධා­රීන් අඹ ගසේ අත්තක් කපා­දැ­මී­මෙන් අාර­වුල අව­සන් කළද, අස­ල්වැසි පවු­ලට අවශ්‍ය වුණේ අඹ ගස සම්පූ­ර්ණ­යෙන්ම කපා ඉවත් කර­වී­ම­ටය. පරි­සර හිත­කාමි අන්ද­මින් ක්‍රියා කළ නිල­ධා­රීන් අඹ ගස පිහිටි ස්ථානය සහ අස­ල්වැසි නිවෙසේ දුර සැල­කිල්ට ගෙන, ගස කැපී­මට අන­වශ්‍ය බවට තීන්දු කිරීම තම පරා­ජ­යක් හැටි­යට කල්පනා කළ අස­ල්වැසි පවුල, තිල­ක­සි­රිලා සමඟ ඇති කර­ගත් වෛරයේ දිගු­වක් හැටි­යට මේ චෝද­නාව ගොතනු ලැබීය.

අඹ ගසේ ආර­වු­ලෙන් යම් කල­කට පසුව, නිවෙ­සට පැමිණි පොලිස් නිල­ධා­රි­යෙක් පැමි­ණි­ල්ලක් විභාග කිරීම සඳහා පොලී­සි­යට පැමි­ණෙන ලෙස තිල­ක­සි­රිට දන්වා සිටි­යේය. කිසි දිනක වර­දක් කර නැතය යන කල්ප­නා­වෙන් පසු වූ තිල­ක­සිරි ලැබුණ නිය­මය අනුව, වහා පොලී­සි­යට ගොස් පෙනී සිටි­යේය. ළමා හා කාන්තා කාර්යාං­ශ­යට යොමු කළ පසුව ඔහුට දැන­ගන්න ලැබුණේ වසර 14ක දැරි­ය­කට නිර­න්ත­රව පුරුෂ ලිංගය පෙන්නා ලිංගික අත­ව­ර­යක් කරන බවට පැමි­ණි­ල්ලක් ලැබී ඇති බවයි. ඒ මොහොතේ මහා කැර­කි­ල්ලක් හට­ගත් නිසා එත­නම ඉන්ද­වුණ ඔහුට තමා පොලී­සියේ බංකුවේ හිඳ­ගෙන සිටින බව වටහා ගැනී­ම­ටත් යම් කාල­යක් ගත විය. ක්‍රම­යෙන් යථා තත්ත්ව­යට පත් තිල­ක­සි­රිට පොලිස් නිල­ධා­රි­නි­යක් චෝද­නාව පැහැ­දිලි කර දුන්නාය. පැමි­ණිල්ල කර තිබුණේ අස­ල්වැසි නිවැ­සි­යන් විසිනි.

පැමි­ණිල්ල අනුව තිල­ක­සිරි උදෑ­සන ඔහුගේ නිවෙසේ පෝටි­පෝ­වට පැමිණ අස­ල්වැසි ගෙදර උඩු මහලේ ජනේ­ල­යක් අසල සිටි දැරි­යට පුරුෂ නිමිත්ත පෙන්වා ස්වයං වින්ද­නයේ යෙදී ඇත. මේ කියන සිද්ධිය ජංගම දුර­ක­ත­න­ය­කින් රූප­ගත කොට ඇති බවද තිල­ක­සි­රිට පොලී­සිය විසින් දැනුම් දෙනු ලැබීය.

“නෝනා, මටත් දුවෙක් ඉන්නවා. මම එහෙම දෙයක් කරන මිනි­හෙක් කියලා හිත­න­වාද? බලන්න මගේ වයස. අනික අපි කාට­වත් වරදක් නොකර නිද­හසේ ජීවත් වන මිනිස්සු. මේ මොන නින්දා­වක්ද?” ඔහු වහා මතු වූ කෝපය පාල­නය කර­ගත නොහැ­කිව වේග­යෙන් කෑගැ­සීය.

“තමු­සෙගෙ කට වැඩියි! ඕවා උසා­වි­යට කිය­නවා…” එසේ කී පොලිස් නිල­ධා­රි­නිය සිය රාජ­කාරි ආරම්භ කළාය. සුළු මොහො­තක් තුළ තිල­ක­සි­රි­ගෙන් ප්‍රකා­ශ­යක් ගෙන ඔහු අත්අ­ඩං­ගු­වට පත් කර, උසා­වි­යට ඉදි­රි­පත් කොට රිමාන්ඩ් කරනු ලැබීය.

පසු දිනෙක රිමාන්ඩ් හිර ගෙද­රට පැමිණි බිරිය කීවේ දුව මේ සිද්ධිය පුතාට දන්වා ඇති අතර, දරු­වන් දෙදෙනා දැඩි කෝප­යෙන් පසු වන බවයි.

“ඒ විත­රක්ද? ළමයි මටත් කෑග­හ­නවා. අම්මා තාත්තා හරි­යට බලා­ගත්තා නම් ඔහොම වෙන්නේ නෑ කියලා..” තිල­ක­සි­රිගේ බිරිය ඒ ටික කීවේ ඉවත බලා­ග­නෙය.

“දෙයි­යනේ… ඒ මොන ලජ්ජා නැති කතා­වක්ද? ඔයා මාව බලා­ග­න්නවා කියන්නේ පස්සෙන් ඇවිත් මගෙ අතින් අල්ලා­ගෙ­නද? අපි උස් මහත් කරලා හැදුව දරුවෝ අපි ගැන හිත­න්නෙත් එහෙ­මයි නේද?” කී තිල­ක­සිරි මහ­හ­ඬින් හඬා­වැ­ටිණ.

“ඒයි මේ මොකද? මම හැම­දාම කියන්නේ අපිට අපි විත­රයි කියලා. මෙච්චර කල් මම එහෙම කිවුවේ කාට­වත් අත නොපා අපි ජීවත් වෙන්න ඕනැ කියලා හිතා­ගෙන. මටත් දැන් තමයි ඒ කතාව හරි­ය­ටම හරි­යට තේරෙන්නේ: අන්තිමේ අපිට දරු­වොත් නෑ කියලා. ගෙවල් දෙක අතරෙ ආර­වුල අපේ ළමයි හොඳින්ම දන්නවා; අනෙක, ඒ පවුලේ හැටිත් දන්නවා. අපේ ගෙදර පෝටි­පෝවේ හිටිය මාව වීඩියෝ කරලා තියෙන්නේ. මම කාට­වත් පෙන්නපු කෙහෙ­ල්ම­ලක් නෑ. ඕක කරලා තියෙන්නේ මම ඉකි­ළියේ දදේ කහන කොට… මේක අපේ ළමයි තේරුම් ගත්තා නම් මට ඒ ඇති. දැන් ඒකත් නෑ එහෙ­නම්. මට ඔයා­ගෙන් යමක් අහන්න තියෙ­නවා.”

“අහන්න.”

“ඔයා විශ්වාස කර­න­වාද මං එහෙම දෙයක් කළා කියලා…”

ඔහු ඇසූ ප්‍රශ්නය නිසා අන්ද­මන්ද වූ බිරිය මොහො­තක් නිහ­ඬව සිට මෙසේ ඇසු­වාය:

“දෙයි­යනේ… ඇයි මේ? ඔයා එහෙම මිනි­හෙක්ද?”

බිරිය ඉකි නොගැ­සු­වාට ඇයගේ කම්මුල් හරහා කඳුළු ගලා­බ­සිනු දුටු තිල­ක­සිරි මෙසේ කීය:

“මට සමා වෙන්න එහෙම ඇහු­වට. දැන් ඔයා යන්න. එන විදි­යක් බලමු. මේකේ ඉන්න මිනිස්සු නම් කියන්නේ හිරේ යයි කියලා. මොකද, අපට එහෙම කළේ නෑ කිය­නවා ඇරෙන්න වෙන සාක්කි නෑ නේ…”

“වෙන දෙයක් වෙයි. ඔයාට මං ඉන්නවා. පුතා ලංකා­වෙත් නෑ. දුවත් නිතර කතා කරන්නේ නුහු­රට. සමා­ජෙට, යාළු­වන්ට මුහුණ දෙන්නේ කොහො­මද අහ­නවා. එයා බඳින්න ඉන්න ළමයා කීවාලු ‘මරු මාමා!’ කියලා මිනිස්සු හිනා වෙයි කියලා.”

“ඒකත් එහෙ­මද…” තිල­ක­සි­රිට විම­සිණ.

“යාළු­කම් ඇති වෙනවා; නැති වෙනවා. එවුවා ඒගොල්ල බලා­ග­ත්තාවේ. දැන් තියෙන්නෙ අප්පාත් පේන්න බැරි විදි­යක් නේ. මේ අපි හදාපු දරුවො නේද? මට ඒකට නම් හරි කේන්තී. මං ඔයාට ඉන්නවා. බය වෙන්න එපා. අපි නඩු කියමු.”

පසුව තිල­ක­සි­රිට ඇප ලැබිණ. නඩු විභා­ග­යේදී විත්තියේ නීතිඥ මහ­තාගේ උප­දෙස් අනුව තිල­ක­සි­රිත්, ඔහුගේ බිරි­යත් දෙදෙ­නාම සාක්ෂි දුන්හ.

“බය වෙන්න එපා” කියා නීති­ඥයා නිතර තිල­ක­සිරි සන්සුන් කළද අව­සා­නයේ අස­ල්වැසි ගෙද­රට පම­ණක් වැර­දි­ක­රුව සිටි තිල­ක­සිරි, 14 හැවි­රිදි දැරි­ය­කට සිය පුරුෂ ලිංගය පෙන්වූ වල­ත්ත­යකු හැටි­යට ලෝක­ය­ටම තහ­වුරු කළ නඩු තීන්දු­වෙන් දඬු­වම බර­ප­තළ වැඩ සහිත දෑවු­රුදු සිර­ද­ඬු­ව­ම­කට යටත් කෙරිණ. තීන්දු­වට විරු­ද්ධව අභි­යා­ච­න­යක් ඉදි­රි­පත් කළ පසු තිල­ක­සි­රිට ඇප ලැබිණ. මේ අතර කිසිදු උත්ස­ව­ය­කින් තොරව දිය­ණිය, සිය විවා­හය සිදු කිරී­මේදී හැසි­රුණේ මවු­පි­යන් නැතිය යන හැඟී­ම­කින් බව තිල­ක­සිරි යුවළ තේරුම් ගත්හ.

“අම්මා, ෆොටෝ ගන්නේ අපි දෙන්නාගේ විත­රයි. අම්මා විත­රක් පොටෝ එකේ හිටි­යාම අප්පච්චි කෝ කියලා අහ­නවා. අපි කොහො­මද එයා අප්පච්චි කියලා ලෝකෙට පෙන්වන්නේ…” දිය­ණිය කී මේ කතාව තිල­ක­සි­රිට කීවේ ඔහුගේ බිරිය විසිනි.

“වහ ටිකක් බීලා මැරෙන්න හිතෙ­නවා. කමක් නෑ. මේවා පූරුවෙ කරුම වෙන්න ඇති….” තිල­ක­සිරි එසේ කී විට බිරිය ඔහුට රවා බැලු­වාය.

“ඔක්කෝම සංසාරේ කරු­මෙට දාන්න එපා. මේ කරු­ම­ක්කාර දරු­වන් අපට සල­කන හැටි. රජෙක් වාගේ හිටිය අප්ප­ච්චිව කාගේ­වත් කෙන­හි­ලි­ක­මක් නිසා මුන් දෙන්නා පිළි­කුල් කළේ උසා­වි­යෙන් වැර­දි­කා­රයා කර­න්නත් ඉස්සර. ඒක විත­රක් අම­තක කරන්න එපා. මම අම්මෙක්. පුතා මිනී­ම­රලා එල්ලුම් ගස් ගියත් අම්මලා කී දෙනෙක් එල්ලලා මරණ දව­සෙත් හිරගේ ළග ඉඳ­ගෙන විලාප දීලා තියෙ­න­වාද? මුන්ට දරු­මල්ලෝ ඇති වෙච්ච කාලෙක අපේ අගේ දැනෙයි.”

“මට දැන් මේ කිසි දෙයක් දැනෙන්නේ නෑ. නඩු­වෙන් නිද­හස් කීවාම දැනුණ සතුට මට මැරෙන කල් තියෙයි.”

“හැබෑට, ඇයි මේ නඩුව අහපු නඩු­කාර උන්නා­න්සෙට තිබුණ දැනුම මුල් නඩුවේ එක්කෙ­නාට තිබුණෙ නැත්තේ… ”

“ඒකත් මගෙ කරුමේ…”

“ඔන්න ආයෙත් පටන් ගත්තා… ඔක්කොම කරු­මෙට දාලා වරද තමන්ට පව­රා­ගන්න එපා. හිතට එක­ඟව ජීවත් වෙනවා නම් අපට සතු­ටින් ඉන්න පුළු­වන්. එච්ච­රයි මම දන්නේ. අපෙ කාල­කන්නි දෙන්නාට ඔයා ඉස්සර නම් රජෙක්. දැන් ගෙද­රට කන්න එන බල්ලෙක් ගානයි කියලා මට හිතෙන්නේ. එක කවි­යක තිබුණා ‘කන්දක් වෙලා කෙන්දක් වැනි අප්පච්චී’ කියලා. ඔයා කාට එපා වුණත් තමන් කන්දක් කියලා හිතන්න පුරුදු වෙන්න.”

එසේ කී බිරිය තිල­ක­සි­රිට ගෙනා තේ කෝප්පය සීතල වී ඇති බව තේරුම් ගෙන යළි රත් කිරී­මට මුළු­තැ­න්ගෙට ගියාය.




Nissanka Rajapaksa

unread,
Dec 2, 2025, 1:25:49 AM12/2/25
to INDRAKA group
42

නිදහස් සිත


ශ්‍රියානි අල්විස්

ඔහුගේ ශල්‍යකර්මය නිම කිරීමෙන් අනතුරුව මගේ ගතටත් සිතටත් විවේකය අත්‍යවශ්‍ය බව තදින් දැනෙන්නට විය. මා අසල සිටියේ සාත්තු සේවකයෙකි.

“මේ මහත්තයට සිහිය ආව ගමන්ම මට පණිවිඩේ කියන්න.”

“වාට්ටුවට දැම්මට පස්සෙද මැඩම්?”

“නෑ නෑ… වාට්ටුවට ගෙනියන්න ඉස්සර… සිහිය ආපු ගමන්ම මට කියන්න. එතකල් හොඳට බලාගන්න.”

“හොඳමයි මැඩම්, මං පණිවිඩේ කියන්නම්.”

මම නැවත ඔහු දෙස බැලුවෙමි. ඔහුගේ පපු ප්‍රදේශය උස් පහත් වීමේ රිද්මය ඔහු පහසුවෙන් හුස්ම ගන්නා බව තහවුරු කළේය. ඔහු තවත් පැයක්, දෙකක් මෙසේ සුව සේ සයනය කරනු ඇත. මම ස්ටෙතස්කෝපය කරේ දමාගතිමි. ශල්‍යාගාරයේ පිට වීමේ දොරටුව තෙක් මා පසුපසින් පැමිණි සාත්තු සේවකයා දොරටුව හැර දී, දොරටුව අසල නැවතිණි. මඳහසකින් ඔහුට සංග්‍රහ කළ මම ශල්‍යාගාරයෙන් පිට වීමි.

අදට පැවරී තිබූ පළමු රාජකාරිය නිම කළ මම මඳ විවේකයක් ලබාගැනීම සඳහා වෛද්‍යවරුන්ගේ විවේකාගාරය වෙත පියවර මැන්නෙමි. එහි කිසිවකුත් නොසිටීම සහනයකි. සුවපහසුවට තනා තිබූ පුටුව ජනේලය අසලින් තබාගත් මම සැනසුම් සුසුමක් හෙළමින් ඊට බර වීමි.

මෙතැනට ශල්‍යාගාරයේ සිට විවේකාගාරයට එන කොරිඩෝවත්, ඒ දෙපස තනා ඇති තණ පිට්ටනියත් මනාව දර්ශනය වෙයි. උදෑසන හිරු රැස් වැටී දිලිසෙන කොළ පැහැති පිට්ටනිය දෙස බලා සිටීමත් ප්‍රියජනකය. එය දෙනෙත් සුවපත් කරවයි. මට ඔහුගේ හඬ ඈතින් දෝංකාර දෙන්නා සේ දැනෙයි… මම හෙමිහිට ඊට සවන් දුනිමි:

“ළමයි හොඳට මතක තියාගන්න… ගිලනුන්ට ඔබින්නෙම කොළ පාට. කොළ පාට දැක්කම එයාලගෙ සිත් නිවී පහන් වෙලා, අමුතුම ශක්තියක් ඇති වනවා. ඒකට හේතුව තමයි: කොළ පාට දැක්කාම හිතේ ඇති වන නිවුණු ස්වභාවය. රෝගීන්ගේ විතරක් නෙවෙයි, නීරෝගි කෙනකුගේ වුණත් ශරීරයේ රසායනික පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වෙලා, ශරීරයට හිතකර හෝමෝන වර්ග ශ්‍රාවය වෙන්න පටන් ගන්නවා කොළ පාට දුටුවාම. ඒකෙන්ම ලෙඩේ බාගයක්ම සුවයි. බොහොමයක් ඉස්පිරිතාලවල බිත්තිවල කොළ පාට ආලේප කරලා තියෙන්නෙත් මේ නිසා. ඒ වගේම වාට්ටුවල වගේම ශල්‍යාගාර ඇතුළෙත් කොළ පාට තිර රෙදි පාවිච්චි කරලා තියෙන්නෙත් ඒකයි. දොස්තර නෝනලා මහත්වරු ශල්‍යාගාරයේ රාජකාරියේ යෙදෙන වෙලාවට කොළපාට ඇඳුම් භාවිත කරන්නෙත් මේ නිසා. න්‍යායන් විතරක් නෙමෙයි, මේ වගේ සරල දේවලුත් ඉගෙනගනිල්ලා. බලාපල්ලකො ඉතින් කොළ පාටෙ තියෙන වැදගත්කම. කවද හරි මට ඉස්පිරිතාලෙකට එන්න සිද්ධ වුණොත්: අද මෙහෙම මෙතන කට ඇරගෙන මගේ පාඩම් අහගෙන ඉන්න උඹලා කොළපාට ඇඳගත්තු නෝනලා මහත්තුරු වෙලා මට හම්බ වෙනව නම්, අන්න එතනයි මගේ සතුට. ගුරුවරයකුට සලකන්න තියෙන හොඳම ක්‍රමය අපි පෙන්නන මේ මාර්ගයේ ගිහිල්ලා උඹලගෙ ඉලක්කය සම්පූර්ණ කරගැනීම. ඒ වගකීම ඉටු කරපල්ලා. මෙහෙම උගන්වන අතරෙ මගෙන් උඹලට වැරදි වචන කියවෙන්න ඇති; ඒ නිසා උඹලගේ හිත් රිදෙන්න ඇති. ඒවා හුළඟේ පා කරලා යවපල්ලා. මට ඕනැ වුණේ මොන දහිරිය දාලා හරි උඹලව යහමඟට ගන්න; රටට, ලෝකෙට වටින මිනිස්සු කරන්න. එහෙනම් ඉතින් දැන් ඇති නේ හොඳට පාඩම් කරපල්ලා. පියවි සිහියෙන් ප්‍රශ්න පත්තරේට උත්තර ලියපල්ලා. උඹල හැමෝටම සුබ අනාගතයක්…”

ඔහු සුපුරුදු භාෂාව භාවිත කරමින් පාඩම නැවැත්වීය. ඒ ඔහුගේ හැටිය. ‘දුවේ, පුතේ’ කියා පාඩම ආරම්භ කරන ඔහු අපට පාඩම පොවා විෂය කාලපරිච්ඡේදය නිමා වීමට ඔන්න මෙන්න කියා තිබියදී අප ‘උඹ, බං, බොලල්ලා’ කරගනී. අපි සැම ඊට මහත් සේ ආශා කළෙමු. ඔහු එසේ නොකී දිනයට හරියට කෑවා නොබීවා සේ බලා සිටියෙමු; බැරි වීමකින් හෝ ඔහු නිවාඩුවක් ගත්තොත් එදාට අපි කාන්තාරයක අතරමං වූවන් සේ නිනවුවක් නැතිව ඔහේ බලා ගත් අත බලාගෙන සිටියෙමු. ඒ තරමටම අපි ඔහුට ඇබ්බැහි වී සිටියෙමු. එනිසා මුළු දවසම ඔහු පමණක් අපට උගන්වනවා නම් යෙහෙකැයි අපි සිතා සිටියෙමු.

ඔහුගේ කතාබහ අවසානයේ ගැහැනු පිරිමි භේදයක් නැතිවම සෑම දෙනාගේම දෙනෙත් අග කඳුළු බිඳුවක් දිලිසෙනු මම දුටුවෙමි. අප සියලු දෙනාම ඔහුගේ දෙපා වැඳ විභාගයට පෙනී සිටීමට ආශීර්වාද ගත්තෙමු.

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වූ දවසේ අපේ ප්‍රතිඵල දෙස බලා සතුටු වීමට ඔහු පාසලේ නොසිටියේය. පාසලට ගිය අපට දැනගන්න ලැබුණේ ස්ථාන මාරුවක් ලබා ඔහු වෙනත් පාසලකට මාරු වී ගිය බවකි.

කාලය වේගයෙන් ගලා ගියේය. මම රෝහල් කිහිපයකම සේවය කිරීමෙන් අනතුරුව මේ රෝහලට ස්ථාන මාරු වී ආවෙමි. අනෙක් රෝහල්වල සිදු කළාක් මෙන් මේ රෝහලටද පැමිණි විගසම මා කළේ රෝහල් ගොඩනැඟිලි කොළ හා කහ පාටින් ප්‍රතිනිර්මාණය කිරීමය. එසේම අවට පරිසරයද නිතර පිරිසුදු කරමින්, කොළ පැහැයට පළමු තැන දුන්නේ මා මනසේ කොළ පැහැය ඉතා ගැඹුරින් පැළපදියම්ව තිබූ බැවිනි.

පාසලින් සමු ගත් පසු මා ඔහු පළමු වරට දුටුවේ අදය. ශල්‍යකර්මයට ප්‍රථම ඊට භාජනය වන රෝගියා පිළිබඳ අනෙක් වෛද්‍යවරුන් දී ඇති රෝග නිශ්චය තුණ්ඩු පරීක්‍ෂා කර බැලීම මගේ පුරුද්දකි. එදිනද රෝහල් ශල්‍යාගාරයට මා යන විට ශල්‍යකර්මය සඳහා රෝගියා සූදානම් කොට තිබිණි. මම ඔහුගේ රෝග නිශ්චය තුණ්ඩු පරීක්‍ෂා කර අවසන් කර, නිකමට මෙන් කාඩ් පතෙහි සඳහන් වූ නම කියවා බැලුවෙමි.

මොනවා! මේ ඔහුම විය යුතුය. මම ඉක්මනින් ගොස් ඔහුගේ මුහුණ දෙස බැලීමි. ඒ වන විටත් ඔහු ශල්‍යකර්මය සදහා නිර්වින්දනය කොට තිබිණි. මම ඒ මුහුණෙහි සලකුණු වටහාගැනීමට උත්සාහ කළෙමි. ඔව්. සැකයක් නැත. වයෝවෘද්ධ සලකුණු මුහුණෙහි මතු වෙමින් තිබුණද, මේ ඔහුමය. මගේ පපුව එක්වරම දැවී ගියේය. මට ක්ෂණිකව අතීතය සිහිපත් විය. ‘කවද හරි මට ඉස්පිරිතාලෙකට එන්න සිද්ධ වුණොත්: අද මෙහෙම මෙතන කට ඇරගෙන මගේ පාඩම් අහගෙන ඉන්න උඹලා කොළපාට ඇඳගත්තු නෝනලා මහත්තුරු වෙලා මට හම්බ වෙනව නම්, අන්න එතනයි මගේ සතුට’ කී ඔහුගේ වදන් මගේ සවනේ රැව් නැඟුණේය. තිගැස්සී ගිය මගේ සිත මම වහා එක්තැන් කරගත්තෙමි. වඩාත් සැලකිල්ලෙන් ඔහුගේ ශල්‍යකර්මය සීරුවට හමාර කළෙමි. මට ශිල්පය දුන් ඔහු සුවපත් කිරීමට ලැබීම මගේ ජීවිතයේ ආශ්චර්යයකි. මම ඒ වාසනාව දෝතින් භාරගතිමි.

සාත්තු සේවකයා කඩිනම් ගමනින් කොරිඩෝව දිගේ එනු පෙනෙයි. ඔහු පියවි සිහියට පැමිණියා විය හැකිය. මේසය මත වූ ස්ටෙතස්කෝපය අතට ගත් මම කඩිනම් ගමනින් ඉදිරියට ගියෙමි.

“මැඩම්, අර මහත්තයට සිහිය ආවා.”

“එහෙමද? යමු බලන්න.”

මම ශල්‍යාගාරයේ දොර හැරගෙන ඇතුළට ගොස්, ඔහුගේ ඇඳට සමීප වූයෙමි.

ඔහුගේ දෑසත් මගේ දෑසත් එක්වර මුණගැසිණි.

“සර්…” මම මඳක් නැමී, ඔහුට ආමන්ත්‍රණය කළෙමි. ඒ විමසිලිමත් දෑස දෙස මම එකඑල්ලේ බලා සිටියෙමි. ඔහු යමක් මතක් කිරීමට තතනනු පෙනෙයි. මම ඔහුගේ හිස සෙමෙන් සෙමෙන් පිරිමැද්දෙමි.

“සර්… සර්ට මහා විද්‍යාලයේ උසස් පෙළ විද්‍යා පන්තිය මතකද?”

‘ඔව්’ කියන්නාක් මෙන් ඔහු හිස මඳක් සෙලවීය. මම ඉන් දිරිමත් වී, මඳහසක් මුවගට නඟාගතිමි. ඔහුට පියවි සිහිය තිබේ.

“සර්ට මතකද ඒ පන්තියේ හිටපු ඉන්දිරා? ඉන්දිරා සේරසිංහ…”

“ඔව්…” ඔහු දුර්වල හඬින් පිළිතුරු දුන්නේය.

“ඒ ඉන්දිරා මම තමයි සර්…”

ඔහුගේ මුවගට සිනාවක් නැඟිණි. මගේ අත අල්ලාගත් ඔහු එය සිය පපුව මත තබාගත්තේය.

මගේ අත්ලට ඔහුගේ ළයේ ‘ලබ් ඩබ්’ ශබ්දය දැනිණි. ගුරු ගෞරවය මගේ හදවත උතුරා ගලයි.

“සර්… සර්ගෙ ඔපරේෂන් එක සාර්ථකයි. දැන් සර්ට වුවමනා විවේකය… තව ටිකක් නිදාගන්න සර්… සර්ට අවශ්‍ය අඩුපාඩු ඔක්කොම අඩු නැතුව මම හරිගස්සල තියෙන්නේ…” මම කියාගෙන ගියෙමි.

ඔහු මගේ අත තදින් අල්ලාගත්තේය.

“මේ දක්වා මගේ කියලා දරුවෙක්ගේ සෙනෙහස නොලැබුණු මට, මගේම වගේ දරුවෙක්ගෙ සෙනෙහස දැනුණේ අද පුතේ…”

තෙත් වුණු ඔහුගේ දෑස දෙස බලා සිටින මගේ දෑසද මටත් නොදැනීම තෙත් වී, කම්මුල් දිගේ ගලාහැලුණු උණුසුම් නෙත් දිය දහරක් ඔහුගේ ළය මත පතිත වනු මම දුටුවෙමි.

https://www.silumina.lk/2025/11/22/%e0%b7%81%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%ba-%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b7%8a%e0%b6%bb%e0%b7%84%e0%b6%ba/52886/%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%84%e0%b7%83%e0%b7%8a-%e0%b7%83%e0%b7%92%e0%b6%ad/





Nissanka Rajapaksa

unread,
Dec 12, 2025, 5:12:47 AM12/12/25
to INDRAKA group
43
යන තැනට වැඩ කරගැනීම

 - සරත් සමරසේකර 
(සිසිල මාසික සඟරාවේ නොවැම්බර් කලාපයේ පළවිය )
 
බොහෝ දිනකට පසු මට විජේතුංග මුණ ගැසුණේ මා සාප්පු සංකීර්ණයේ සැරිසරමින් සිටිය දී ය. මා කඩිනමින් දුව ගොස් ඔහුගේ අතින් අල්ලා ගත්තේ ඔහු සමග සම්මුඛ වීමට ලැබුණු අවස්ථාව මග හැරීමට ඉඩ නොදිය යුතු නිසා ය.

දින ගණනාවක් තිස්සේ ඔහුට කතා කරන්නට කොතරම් වෑයම් කළත් එය අසාර්ථකවුණේ ඔහුගේ දුරකථනය අක්‍රීය වී තිබූ නිසා විය යුතුයැයි මම සිතා සිටියෙමි.

''කොහේද විජේ මෙච්චර දවසක් ගිහිං හිටියෙ? මම කී වතාවක් කෝල් කළා ද? රිංග්ස් යනව ආන්සර් කරන්නෙ නැහැ. මොකද ෆෝන් එකේ අප්සෙට් එකක් ද?'' මම චෝදනා මුඛයෙන් කියා ගෙන ගියෙමි.

''නෑ සමරෙ අපේ ගෑනි, එයාට ඩිස්ටර්බ් වෙනවයි කියල, ගෙදර තියෙන ෆෝන් ඔක්කොම සයිලන්ට් කරල නෙ තියෙන්නෙ, ඒකයි අවුල. අවුට් ගොයින් විතරයි, ඉන්කමින් නෑ.''

''අපොයි දෙයියනේ! ඇයි ඒ? එයා විභාගෙකටවත් පාඩම් කරනව ද?'' මම විමතියෙන් ඇසුවෙමි.

''එහෙමත් නෑ. ඒ උනාට එහෙමෙයි කිව්වත් වැරැද්දක් නෑ. මොකද කිව්වොත්..." විජේතුංග මගේ උරෙස්සට උඩින් ඇස් යවා මහා කෝණයකින් සාප්පු සංකීර්ණය වටා ඇස් යොමුකළේ සුජාතා අහල පහළ පෙනෙන මානයක සිටිනවාදැයි සැක හැර දැනගැනීමට විය යුතු ය.

''මේ මනුස්සයගෙ වැඩේ උදේ ඉඳන් භාවනා කරන එක. වෙන වැඩක් නෑ. කාමරේ දොර වහගෙන භාවනාව. උස්ම අදිණෝ, පහළ දාණෝ. උස්ම අදිණෝ පහළ දාණෝ. ඕක තමයි වැඩේ.''

''ඕකට කියන්නෙ ආනාපාන සතිය වඩනවයි කියල. ඉතිං කන්න උයන්නෙත් නැද්ද?'' මම ඇසුවෙමි.

''නැත්තෙමත් නෑ. ඒ උනාට මට තමයි වැඩියෙන් කුස්සියෙ ඉන්න වෙලා තියෙන්නෙ. ළමයි දෙන්නෙකුත් ඉන්න නිසා ඉතිං අවශ්‍යතා වැඩියි නේ.''

''ඉතිං විජේ මට කතා කරන්න ඕන වෙලා තිබුණෙ අර පත්තරේ පළකරපු 'ක්‍රම වෙනස කොතැනටද' කියන ලිපිය ගැන. ඒක හරි කාලීන මාතෘකාවක්. දැන් ඉතිං ඔය කියන තත්වෙ යටතෙ ලියන කියන දේවල් කෙරෙන්නෙත් නැද්ද?'' දැන උගත් කමක් ඇති විජේතුංග සමග හරවත් ශාස්ත්‍රීය සංවාදයක යෙදෙන්නට තිබෙන හැකියාව මග හැරීයමින් තිබීම ගැන මට ඇතිවුණේ කණස්සල්ලකි.

''මේ මොනව කියනවද සමරෙ, මං කැමති කිසි දෙයක් කරන්න විදියක් නැහැ. මිනිහෙක් ගෙදරට ගෙන්න ගන්න බෑ. ආපු මිනිහෙකුට තේ එකක් දෙන්න විදියක් නෑ. කවුරුත් එනවට කැමති නෑ. හයියෙන් කතා කරන්න බෑ. මාර වැඩක් තමයි මට වෙලා තියෙන්නෙ. එයා කලින් විශ්‍රාම ගත්තෙ යන තැනකට වැඩක් කර ගන්න ඕන හින්ද ලු. ඉතින් මං මොනව කියන්න ද?'' විජේතුංගගේ කතාවෙන් කියවුණේ ඔහු බොහෝ සේ කලකිරීමට පත්වී ඇති බවකි.

‘’මං හිතන්නෙ මේ වගේ ඉහළ ආගමික උන්මාදයක් තියෙන, වේගවත් අධ්‍යාත්මික ප්‍රගතියක් අපේක්ෂා කරන උදවිය මුලින්ම කරන්න ඕන ආරණ්‍ය ගත වෙන එක. ඊට පස්සෙ එතන ඉඳන් ආනාපාන සතිය වඩන්න අවශ්‍ය පෙර සූදානම ඇතිකර ගන්න පුළුවනි,'' ම‍ම කියා සිටියෙමි.

''ඇත්තම ඇත්ත සමරෙ. මං නං කරන්නෙ ඒක තමයි. ගෙදර ඉඳං ඕව කරන්න බෑ. මේ මනුස්සය ඔය ඇවිදින ගමනුත් කරන්නෙ සක්මන් භාවනාව.’’

‘’ඇත්තට?’’

''ඔව් අනේ. ඒ උනාට මේ පවුල් කන ගෑනු කොහොමද ඔය විදියට සතිය වඩන්නෙ, ගෙවල්වල මෙච්චර වැඩ තියෙද්දි?''

මේ මොහොතේ පිටුපසින් පැමිණි සුජාතා මා දෙස කෙළින් බලාගෙන ''සමරතුංග දැක්කෙ කාලෙකට පස්සෙ,'' යැයි කියමින් තම අත තිබූ බඩුමල්ල විජේතුංග වෙත දිගුකළා ය. ඇය හැඳ සිටියේ උපාසිකාවකට වඩාත් ගැලපෙන සුදු ඇඳුමකි.

''හලෝ සුජාතා. කොහොමද ඉතිං?'' මම වැඩිමනත් නොකියා කෙටියෙන් ප්‍රතිචාර දැක්වීමි.

''මං මේ සමරතුංගගෙන් අහන්නමයි හිටියෙ, දැන්ම විශ්‍රාම යන්න අදහසක් නැද්ද කියල.''

''නෑ. ඇයි එහෙම ඇහුවෙ?''

''නෑ. මං ඇහුවෙ, දැන්වත් යන තැනකට වැඩක් කරගන්න කාලෙ හරි නැද්ද කියල.''

''ඒ කිව්වෙ?'' 

''බණක් භාවනාවක් කරල මේ කුණු සංසාරෙන් එගොඩ වෙන්න අදහසක් නැද්ද මනුස්සයෝ?'' 

''නෑ. මං එහෙම දෙයක් ගැන හිතල නෑ.''

''කවද්ද ඕව ගැන හිතන්නෙ? මං මේ අපේ විජේටත් හැම වෙලාවෙම කියන්නෙ ඔය ටිකම තමයි,'' ඈ කීවාය. 

''අනේ මේ පිස්සු කතා කරන්නෙ නැතුව යං යන්න,'' විජේතුංග බඩුමල්ලත් එල්ලාගෙන යන්න සැරසුණේ, ''සමරෙ මං හැන්දෑවට අනිවාර්යයෙන්ම කෝල් එකක් දෙන්නම්,'' කියා ගෙන ය. 

* * *

මා ආපසු ගෙදර යන අතර මග දී කල්පනා කළේ සුජාතා කළ චෝදනාව ගැන ය. සංසාරෙන් එගොඩවීම යන්නෙන් ඈ අදහස් කළේ නිවන් දැක සසරින් මිදීම විය යුතු ය. 

මේ නිවන ගැන මගේ උනන්දුවක් නැත්තේ එය ප්‍රායෝගිකව සාක්ෂාත් කර ගත හැකි තත්වයක් නොවන නිසාම නොව, ඒ කියන මහා සම්පත්තිය භුක්ති විඳීමට ''පුද්ගල භාවයක් නොහොත් ආත්මයක් '' ගැන කතාවක් නැති අනාත්මික ථෙරවාද සංකල්පය තුල මරණින් මතු පැවැත්මක් තිබිය නොහැකි බැවින් ය.

* * *

කියන දේ හරියට ම කරන විජේතුංගගෙන් හවස හය වෙනවිට මට දුරකථන ඇමතුමක් ලැබුණි.

''අනේ සමරෙ මට සමාවෙන්න ඕන. ෆෝන් එක ඔබ ඔබ මිස් කෝල් චෙක් කරන පුරුද්දක් මට තිබුණෙ නෑ. ඒකයි පහුගිය කාලෙ සමරෙව මිස් උනේ. මින් පස්සෙ එහෙම වෙන්නෙ නෑ,'' යැයි අවසාන වශයෙන් පවසා විජේතුංග සංවාදය අවසන් කරන විට එතෙක් අතපසු වී තිබුණු බොහෝ කරුණු කාරණා සාකච්ඡා කර හමාරවී තිබුණි.

එහෙත් පසුදින ම නැවත මට ඔහුගෙන් දුරකථන ඇමතුමක් ලැබුණේ මා අපේක්ෂා නොකළ පරිදි ය.

''හරි වැඩේනෙ සමරෙ මට වෙලා තියෙන්නෙ. ඔන්න මටත් පාන්දර හතරට නැගිටල එයාගෙ කාලසටහනට අනුව භාවනා කරන්න පටන් ගන්න ලු. ඒකෙන් මහත් ඵල මහානිසංස ලැබෙනව ලු.’’

ඔහු තව ද පැවසුවේ සුද්ධික සූත්‍රයේද එසේ සඳහන් වන බවයි.

"මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස වේද යත්: මහණෙනි, මෙහි මහණ අරණකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ ... නිවන අනුව දක්නාසුලුව ආශ්වාස කරන්නෙමියි හික්මේ. නිවන අනුව දක්නාසුලුව ප්‍රාශ්වාස කරන්නෙමියි හික්මේ. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස වේ යි."

පිළිතුරු වශයෙන් මම කිසිවක් නොකීවෙමි.

''මට පේන්නෙ මේ යකා ගෑනිට බයේ කියන කියන දේ කරනවද කොහෙද? ඔය හිරගෙදර ඉන්නවට වඩා හොඳයි ඔය සූත්‍රයෙ තියෙන විදියට ආරණ්‍ය ගතවෙන එක,'' මට නිකමට හිතුණේ එහෙම ය.

* * *

දින කීපයක් ගත වී ගියේ සාමාන්‍ය පරිදි කිසිදු වෙනසක් නැතිව ය. මේ කාලය තුල මා විජේතුංග සමග දුරකථනයෙන් සම්බන්ධවීමට උත්සාහ කළේ නැත. ඒ විශේෂ හේතුවක් නිසා නොවේ. එහෙත් එය ඔහුට අනියමින් සහනයක් වෙන්නට ඇතැයි මට පසුව සිතුණේ සති දෙකක් නොකඩවා භාවනා කිරීමෙන් පසු ඔහු මට කෙටි පණිවුඩයක් එවා තිබුණු පසුබිමක් තුළ ය.

“වැස්සෙන් පසු මෘදු මීදුමක් මෙන් මගේ මනස පුරා නිහඬ සාමයක් පැතිරෙන බව පෙනේ. ශරීරය සැහැල්ලු බවක් දැනේ. එය දිගු කලක් තිස්සේ දැනුම්දීමකින් තොරව ගෙන ගිය බරක් බිම හෙළුවාක් මෙනි. සිතුවිලි මෘදු ලෙස ගලා යන්නේ සන්සුන් දැනුවත්භාවයකින් ය.’’

විජේතුංගගේ කෙටි පණිවුඩය කියවන කෙනෙකුට සිතෙන්නේ ''මේ මිනිහ නං සෝවාන් වෙලා'' කියලා ය.

හේ තවදුරටත් කියා තිබුණේ, තමා සුජාතා ගැන සිතා සිටියේ නිවැරදි ආකාරයට නොවන බවත්, ඈ කළ කී දේ පිළිබඳව ගැඹුරින් නොසිතීම තමා අතින් සිදුවුණු වැරද්දක් බවත් ය.

''සමරෙ මම කියනවට ඔයත් මේ කියන සතිය වඩන්න උනන්දු වෙන්න. ඒකෙන් හොඳක්ම වෙන බව ඒකාන්තයි,'' හේ වැඩි දුරටත් කියා තිබුණි.

ජීවිතය දුක ය, කියමින් නිවන් දැක සසරින් පලායාමේ ආත්මාර්ථකාමී සංකල්පය මම අනුමත නොකරමි. ස්වභාව ධර්මය විසින් දායාද කළ ජීවිතය තමන් සඳහා පමණක් නොව, සියලු ජීවීන් සඳහා විමුක්තිය සොයන අර්ථවත් පුද්ගලයෙක් ලෙස ගත කිරීම අරමුණු කරගත යුතුයයි සිතන මා විජේතුංගට පිළිතුරු සැපයුවේ නැත.

* * *

දින, සතිබවට ද , සති, මාසබවට ද පත් වී කාලය ගෙවී ගියේය. මේ කාලය තුල විජේතුංග වරින් වර මට කෙටි පණිවුඩ එවා තිබුණ ද මා ඒවාට පිළිතුරු සැපයුවේ නැත. ඒ සියලු පණිවුඩවලින් කියවුණේ එකම කතාව ය.

එක් දිනක් මා සාප්පු සංකීර්ණයේ සැරිසරමින් සිටිය දී සුජාතා බඩුමලු කීපයක් රැගෙන කොරිඩෝව දිගේ ඇවිද යමින් සිටියාය. ඒ මා කලින් දුටු සුජාතාව ම දැයි මට සැක සිතුණි. ඇය පෙරදින මෙන් සුදු ඇඳුමින් සැරසී සිටියේ නැත. ඇය මා අමතන තෙක් ඒ ඇය බව මට නිශ්චිත නොවීය.

''මම සමරතුංග මුණ ගැහෙන තුරු හිටියෙ," ඈ කීවාය.

''ඇයි ද දන්නෙ නෑ,'' විජේතුංග ගැන නෝක්කාඩුවක් වියයුතු යයි මට නිකමට සිතුණි.

''ඔයාට බැරිද විජේට ආපහු ගෙදර එන්නෙයි කියන්න?''

''ඒ කිව්වෙ, ඇයි එයා ගෙදරින් ගිහින් ද?'' 

''...හ්ම්.''

''අප්පට සිරි. එහෙනම් මිනිහ ආරණ්‍යගත වෙලා. හැබැයි එහෙම නොවුණා නම් තමයි පුදුමෙ.''

''ඇයි එහෙම කියන්නෙ?'' ඈ ඇසුවාය.

''ඔය වගේ පිස්සුවක් හැදුනම එහෙම වෙන එක පුදුමයක් නෙවෙයි.'' එසේ කියන්නට මගේ කට ඉස්සර වුවත් එය මම අමාරුවෙන් මැඩ ගතිමි.

''විජේ ඔයාට කතා කළේ නැද්ද?''

''මට කීප වතාවක් කෙටි පණිවුඩ එවල තිබුණ. අමුතු දෙයක් කියල තිබුණෙ නැහැ. පමා වෙලා හරි ඔයා කියපු දේ අහල ඒ අනුව කටයුතු කරපු එක ගැන සතුටු වෙනව කියල තිබුණ.''

''අනේ නිකං ඉන්න සමරතුංග. ඔය මිනිහ ඔහොම කෙරුවෙ මගෙන් පළිගන්න ම යි. මම නොදන්නවයි එයාගෙ කෙරුවාව.'' කී සුජාතා වේගයෙන් හුස්ම ඉහළට අදින්නත් පිටකරන්නත් පටන් ගත්තේ පුරුද්දට ද නැත්නම් තරහට ද කියා මට නිච්චියක් නොවීය.

''මං විජේතුංගට කියල බලන්නං,'' කියාගෙන මා එතනින් පිටවුණේ ස්ථිරව ම එසේ කරනවා යැයි සිතාගෙන නොවේ.


Nissanka Rajapaksa

unread,
Dec 18, 2025, 5:01:13 AM12/18/25
to INDRAKA group
44
ඇපල් ගස

නවසීලන්ත ලේඛිකා කැතරින් මෑන්ස්ෆීල්ඩ්ගේ The Apple Tree නම් කෙටි කතාවේ සිංහල පරිවර්තනය උපුල් වික්‍රමනායක


පරණ නිවහනට අයත්ව පලතුරු වතු දෙකක් තිබිණි. ඉන් එකකට අප කීවේ වල් පලතුරුවත්ත කියාය. එය පිහිටා තිබුණේ එළවළු වගාවට ඔබ්බෙනි. එහි වගා කර තිබුණේ තිත්ත චෙරි, ඩැම්සන් සමග විනිවිද පෙනෙන ප්ලම්බ් වැනි දෑ ය. මොකක්දෝ හේතුවකට එය අඳුරෙන්ම වැසී තිබිණි. කොයිම වෙලාවකවත් අප එහි සෙල්ලම් කිරීමට නොගිය අතර අඩුම තරමින් බිම වැටී තිබුණු පලතුරු ඇහිඳින්නටවත් ගියේ නැත. සෑම සඳුදාවකම මෙහි මැද්දෙන් තිබුණු හිස් ඉඩ තීරුවේ මෙහෙකාර ගැහැනු ළමයාත් රෙදි අපුල්ලන නැන්දාත් සිටියහ. තෙත හණ රෙදිත් අත්තම්මාගේ රාත්‍රි ඇඳුම් ටිකත් තාත්තාගේ ඉරි කමිසත් කුලී වැඩකාරයාගේ කපු කලිසමත් මෙහි වැඩිපුර දක්නට තිබිණි. වැඩකාර ගැහැනු ළමයාගේ සැමන් රෝස පාට ඇඳුමෙහි සාක්කු එහෙ මෙහෙ සෙලවී ගියේත් රෙදි අපුල්ලන නැන්දාගේ වේගවත් ගසා දැමීමවලට රෙදි පෙරෙදි ලක්වෙන්නට වීයේත් මෙහිදීය.

එහෙත් අනෙක් පලතුරු වත්ත තිබුණේ නිවහනට සෑහෙන දුරකින් පුංචි කඳුගැටයක පාමුලය. එය කුඹුරු අද්දර තෙක්ම විහිද තිබිණි. දීප්තිමත් හිරු එළියෙන් බැබළෙමින් කහ පාට වොට්ල්ස් පොකුරු දක්නට තිබිණි. දෑකැති හැඩැති කොළ එල්ලෙමින් තිබුණේ ගම්වලින් අලවා තිබුණාක් මෙනි. පලතුරු ගස් යට යහමින් ගන ව තණකොළ වැවී ඇත. ඔබ එහි ඇවිද්දොත් සපත්තුවේ ගැටගැසී පටලැවෙනු ඇත. උණුසුම් දවසක වුව එහි තෙත ගතියක් තිබිණි. නැවතී සිටියහොත් එහි එහාටත් මෙහාටත් හමා යන සුළං රැලිවල පහස මෙන්ම සිසිල ද දැනෙනු ඇත. කුරුල්ලකු හොට ගැසූ ඇපල් ගෙඩියක්, තැළුණු පෙයාර්ස් ගෙඩියක්, කුඩා ඇඹුල් ගෙඩියක් ලුණු ඇබින්දක් සමග කන්නට ඇතිනම්…. මෙහි සුවඳ දැනෙන විට කෑම නොකෑවත් ඒ හා සමාන හැඟීමක් සිතට දැනෙනවා නොඅනුමානය.

එක් වසරක් තිස්සේ ම මේ උයනේ කෑමට මෙන්ම ළඟට යෑමටත් තහනම් ගසක් තිබිණි. එය තාත්තාත් ඔහුගේ මිතුරකුත් දවල්ට කෑමෙන් පසු, එක්තරා ඉරිදාවක පස්වරුවක ඇවිදගෙන යද්දී සොයාගෙන තිබුණු ඇපල් ගසකි.

“නියමයි… ස්කොට්” මිතුරා කීවේය. ඔහු එසේ කීවේ සෑම අතින්ම විස්මයට පත්වූ බවක් ද පෙන්වමිනි.

“ඒක මේ… මේ…?” ගහේ සිටින නොදන්නා කුරුල්ලකු මෙන් එය ස්ථාවර විය.

“ඔව්… මම ඒක විශ්වාස කරනවා…’ තාත්තා කීවේ සැහැල්ලුවෙනි. තාත්තා ඒ ගසේ නම කුමක්දැයි මෙලෝ හසරක් නොදැන සිටියේය.

“ස්කොට්…..” මිතුරා යළි කතා කළේය. “මේවා අපූරු වර්ගයක්… ආයෙ දෙකක් නෑ… මේවායේ අස්වැන්නත් යහමින් තියෙනවා… මේකේ ගෙඩි ටික හරියට හැදුණොත් ආයෙ ඒකෙන් ඔයාව පරද්දවන්න බෑ… ඒකෙන්ම සරු ආදායමක් හොයා ගන්න පුළුවන්..”

“නෑහ්… ඒක බොහොම හොඳයි… නියමයි…” තාත්තා කීවේ ඔහුගේ කතාව කිසිම ගණනකට නොගනිමින් බව පෙන්වුවත් ඔහු ගසට නෙත් යොමු කළේ ආගන්තුක යමක් දෙස නැවුම් අයුරින් බලන අයුරෙනි.

“මේවා බොහොම දුර්ලභයි… මේ දවස්වල එංගලන්තේදී වුණත් දකින්න බොහොම අමාරු දුර්ලභ ගහක්…” අමුත්තා කියාගෙන යද්දී තාත්තාගේ මුහුණ ප්‍රීතියෙන් බැබළිණි. තාත්තා මේ පලතුරු වත්ත ඇතුළු සියල්ල ගොඩනඟා ගත්තේ තමන්ගේ දාඩිය මහන්සියෙනි. මේ සඳහා විශාල වශයෙන් මිල මුදල් වැය කළේය. එහෙත් ඔහුගේ ඒ කැප කිරීමට සුදුසු අගැයුමක් කිසිවකුගෙන් නොලැබිණි.

ඔහු තවමත් තරුණය. කොයි දේටත් දැඩි ලෙසින් සංවේදීය. ඔහු තවමත් තමන් වැය කළ මුදලට සරිලන සේ මේ ගැන කිසිවකුත් කතා නොකිරීම ගැන කනස්සල්ලෙන් සිටියේය. සෑම දිනකම කඩිමුඩියේ ව්‍යාකූල ලෙසින් කන්තෝරුවට යන ගමනත් ආපසු නිවහනට එන ගමනත් එක්වරම එහෙමපිටින්ම වෙනස් වන්නට විය. අලුත්ම අලුත් වටිනා කියන ඇපල් ගස හමුවීමත් සමග මේ සියල්ල කණපිට පෙරළුණාක් මෙනි.

“මේ ඇහුණද ළමයිනේ… මේ ඇපල් ගහට අත තියන්න එපා…” ඔහු එය දැනුම් දෙන්නේ මෘදු හඬින් වුවත් එහි දැඩි තිරසාර බවක් ද ගැබ්ව තිබිණි. කවුරුන් හෝ ආගන්තුකයකු ඇවිත් ගියායින් පසු ඔහු වෙනස් වන්නේ සැණෙකිනි. “ඔය දෙන්නගෙන් කවුරු හරි ඔය ඇපල් අල්ලල තිබුණොත් ආයෙ දෙකක් නෑ ඇඳට යන්න දෙන්නෙත් නෑ… ඒ වගේම දෙනවා හොඳවයින් කස පහර දෙක තුනක්…” එය හුදෙක් ඇපල් ගසේ අගය වැඩි කරන්නාක් බඳු විය.

සෑම ඉරිදාවකම උදෑසන දේවස්ථානයට ගිහින් ආවායින් පසුව තාත්තා, බොගේත් මාත් මල්වත්ත මැද්දෙන් එක්කගෙන යයි. දම් පාට මල් පිපුණ මල් ගස් ගොන්න ද පසුකරයි. ලේස් පොතු ගස ද සුදු රෝස නාළාකාර පඳුරු අස්සෙන් ද ගොස් නවතින්නේ කඳු පාමුලට කිට්ටුව ඇති උද්‍යානයේ ය. ඇපල් ගස ද දැන් තමන්ට උරුම වුණු ගෞරවය ගැන හිස උදුම්මාගෙන අනෙක් අයගෙන් වෙන්ව සිටින්නාක් මෙනි. එහි යහමින් පල දරා තිබුණු අතු යන්තමට මෙන් බිමට බරව තිබිණි. අලුතෙන් ඔප වැටුණු අලුත් කොළ සැලෙමින් තිබිණි. ඒ තාත්තාගේ ඇස් ගැටෙන්නට මත්තෙනි. ඔහුගේ හදවත සතුටින් පිරී යනු දැනුණි. ඔහුගේ හදවත පිරී යන බව අප දැන සිටියේ බොහෝ කල් තියාය. ඔහු දෑත පිටුපසට කර ගත්තේය. දෑස ද යොමුව තිබුණේ ඇපල් ගස දෙසට ය. යම් විදියකින් ගහට හානියක් වන දෙයක් වුවහොත් එය ගෙය ගිනිගෙන දැවී ගියාටත් වඩා ඔහුට වැදගත් දෙයක් වනු ඇත. ඉදින් බොගේත් මමත් සෙල්ලම් කරනුයේ කෙලෙස ද? බොගේගේ දණහිස් සීරී තිබිණි. අත් දෙක පිටුපසට බැඳගෙන සිටි ඔහු පැලඳ සිටි තොප්පියේ එච් එම් එස් තන්ඩර් බෝල්ඩ් යනුවෙන් මුද්‍රණය කර තිබිණි.

ඇපල් ගෙඩි මළානික කොළ පැහැයේ සිට කහ පාටට හැරෙමින් තිබිණි. ඒ මත්තේ රෝස පැහැ ඉරි කීපයක්ම තදින් ඇඳී තිබිණි. රෝස පැහැය, කහ පැහැය පුරාම වාගේ ඇඳී ගොසිනි. රතු වී සියුම් පැහැදිලි රතු පැහැයක් දක්වා පැතිර ගියේය.

අවසානයේ එක දවසක තාත්තා ඔහුගේ ලෝගුවේ සාක්කුවෙන් කුඩා පෑනක් බඳු පිහිය එළියට ගන්නා දවස පැමිණියේය. ඔහු ඇපල් ගහට කිට්ටු විය. බොහොම සීරුවෙනුත් පරෙස්සමෙනුත් ඔහු ළඟම අත්තක තිබුණු ඇපල් ගෙඩි දෙකක් අල්ලා ගත්තේය. ඉන් ටික වේලාවකට පසු ඒවා ඔහුගේ අත්ලට සපැමිණ තිබිණි.

“දෙයියම්පා… මේවා නියමෙට ඉදිලා…” තාත්තා විස්මයෙන් කෑගැසුවේය. “මේවා අපූරු ඇපල්… නියමයි…” ඔහුගේ හඬ දෝංකාර දුන්නේය. ඔහු ඇපල් ගෙඩි දෙක අතේ එහෙ මෙහෙ පෙරළමින් විමසිලිවත්ව බලමින් කීවේය.

“මේ බලන්න…” ඔහු කීවේය. “එක පැල්ලමක් නෑ… එක පලුද්දක් නෑ…” ඔහු පලතුරු වත්ත දිගේ ඇවිදගෙන ගියේය. බොගේත් මමත් ඔහු පසුපසින් හඹා ගොස් නතර වීයේ වොට්ල්ස් ගසක් යට තිබුණ කොටයක වාඩි වෙමිනි. එහි පසෙකින් තාත්තා සිටියේය.

ඔහු ඇපල් ගෙඩියක් පසෙකින් තැබුවේ පිහිය ද දිග අරිමිනි. ඔහු පිළිවෙළකට ලස්සනට කැපුමක් යොදමින් එය දෙකට කැපුවේය.

“දෙයියම්පා මේ බලන්නකෝ… මේකෙ ලස්සන…” ඔහු කීවේ කෑගසමිනි.

“තාත්තේ…” අප ද කෑගැසුවේ ඇත්තෙන්ම උද්‍යෝගයෙනි.

ඇපල් ගෙඩියේ සුදු මදය කොටස සිසාරා නෙත පිනවන ලස්සන රත් පැහැයක් පැතිර තිබිණි. එය දිලිසෙන කළු ඇට දක්වාම විහිද ගොස් තිබිණි.

බැලූ බැල්මට ඇපල් ගෙඩිය වයින්වල ගිල්වා ඇති අයුරකි.

“මීට කලින් මෙහෙම දෙයක් දැකලා නෑ…” තාත්තා කීවේය. “මේ වගේ ඇපල් ගෙඩියක් හදිසියකට නම් කොහොමවත් හොයා ගන්න බැරිවෙයි…” ඉන්පසු ඔහු එයින් පළුවක් ගෙන නාසයට කිට්ටු කළේය. ඒත් එක්කම ඔහු කිසිදාක භාවිත නොකරන වදන් කීපයක් ද පිට කළේය. “නියම සුවඳ… නියම සුවඳ…” බොගේට එක ඇපල් පළුවක් දුන් තාත්තා අනෙක් පළුව මා අත තැබීය.

“එක පාරටම ගිලල දාන්න එපා…” ඔහු කීවේය. එය කෙතරම් වේදනාත්මක දෙයක් දැයි මට මේ වනවිටත් තේරුම් ගොස් තිබිණි. මා අමාරුවෙන් මගේ කැබැල්ල කටේ රුවා ගත්තාක් මෙන්ම බොගේ ද මුහුණ ඇඹුල් කරමින් ඔහුගේ කැබැල්ල හපන්නට පටන් ගත්තේය.

තාත්තා මීළඟ වතාවේත් පිහිය දිගහරිමින් ඉතිරි ඇපල් කැබැල්ලට ලස්සන කැපුමක් දැමුවේය. මගේ ඇස් යොමු වී තිබුණේ බොගේ දෙසටය. අප දෙදෙනාගේම කටවල් පිටිවලින් පිරී තිබුණි. තරමක් තද තිත්ත රසක්… වියළුණ අමිහිරිම භයානක රසයක්… අප දෙදෙනාම ඇපල් කැබැල්ල ගිල දැමුවේ කිසිම කතාවක් නැතිවය.

“හොඳ ද…?” තාත්තා ඇසුවේ බොහෝ සතුටෙනි. ඔහු තම බාග දෙක හතරට කපා ඇට ඉවත් කරමින් සිටියේය. “හොඳ ද…?”

බොගේත් මමත් මුහුණට මුහුණ බලා ගත්තේ දිය යුතු උත්තරය කුමක්දැයි සිතා ගත නොහැකිව ඇපල් කැබැල්ල ඔහේ හපමින් සිටිද්දීය. එයින් පසුව අප අතර වීයේ දැඩි නිහැඬියාවකි. වෙනත් විදියකට සිනහවකි. ඒ අතරතුර ඇපල් කැබලි අපේ කුසට ගොස් තිබිණි. තාත්තා ළඟට ගොස් අප දෙදෙනා ඔහු අල්ලා ගත්තේ කෑගසමිනි. “නියමයි… තාත්තේ නියමයි…” අපි එසේ කීවේ තාත්තා සතුටු කිරීමට ය.

එහෙත් වැඩි වේලාවක් යන්නට මත්තෙන් ඉන් ඵලක් නොවීය. අතේ තිබුණු ඇපල් කැබැල්ලෙන් කොටසක් කටට ගත් තාත්තා මුහුණ නරක් කරගෙන කෙළ පහරක් එල්ල කළේය. ඉන්පසු කිසිම දිනෙක ඔහු ඇපල් ගස ඇති ඉසව්වේ පැත්ත පළාතකටවත් නොආවේය.




Nissanka Rajapaksa

unread,
Dec 18, 2025, 7:42:01 PM12/18/25
to INDRAKA group
45

දෙළුම් ගෙඩි

උස්බෙකිස්තානයේ අබ්දුල්ලා කහෝර් Abdulla Qahh විසින් රචිත Anor (Pomegranate) කෙටිකතාවේ පරිවර්තනය.

පරිවර්තනය –
එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ

කඩිමුඩියේ නිවසට ඇතුළුවන අවස්ථාවේ, දොරේ ආරක්ෂාවට දමන දම්වැල රඳවන කොක්කේ, ටුරොබ්ජොන්ගේ කලාමි ලෝගුවේ සළුව පැටලී ඉරී ගියේය. ඔහු එතැනම වාඩි විය. ඔහුගේ බිරිය බඩඉරිඟු කොටමින් සිටියා ය. කුඩා පාර්සලයක් ඔහු අත ඇති බව දුටු ඈ මෝල්ගස වංගෙඩිය තුළ තිබියදීම ඔහු වෙත දිව ආවා ය. මෝල්ගස ඇලවී වංගෙඩිය බිම පෙරළිණි. කොටමින් තිබූ බඩඉරිඟු ඇට ගෙබිම පුරා ඉහිරී ගියේ ය.

ටුරොබ්ජොන් තම අත වූ පාර්සලය ඔහුගේ පිටුපසට කරගෙන;

“මට සහෝදරයා කියලා කතා කරන්න!”

“සහෝදරයා, මගේ ආදරණීය සහෝදරයා!”

“මට මොනවද ඔයා දෙන්නේ?”

“මගේ ජීවිතයෙන් අඩක්!”

ටුරොබ්ජොන් පාර්සලය තම බිරිඳගේ අතට දුන්නේ ය. ඈ දොර ළඟම වාඩිගෙන එය ලිහා බැලුවා ය. එසැණින්ම ඇයගේ සතුට අතුරුදහන් විය. ඈ හිස ඔසවා තම සැමියා දෙස හැරී බැලුවා ය. ඇයගේ දෑසේ පිරී ඇති කඳුළු ටුරොබ්ජොන් දුටුවේ ය.

“ඔය මොනවද කියලා ඔයා දන්නවද?” ඔහු විමසා සිටියේ ය.

“මේක පිළා වදයක්! සම්පූර්ණයෙන්ම මීපැණි! බලන්න! ඔයා ඒක මිරිකුවොත් මී පැණි ගලා ගෙන එයි. මේ පිළා වද පිරිසිදුයි. ඒවගේම අලුත්. ඔයාට ඕක හපලා උරා බොන්න පුළුවන්.”

විශාල කරගත් දෑසින් ඈ ඒ දෙසම බලා සිටියා ය.

“අනේ දෙවියනේ! ඇයි ඔයා මාව විශ්වාස නොකරන්නේ? මේ අරගන්න. හපන්න! හපන්න! ඒක රස නැත්නම් කියන්න” පාර්සලය තුළට අත දමන අතරතුර ඔහු පැවසුවේ ය.

ටුරොබ්ජොන්ගේ මුහුණ රතු විය. ඔහු ව්‍යාකූලත්වයට පත්ව සිටියේය. මිදුල හරහා ඇවිදිමින් සිටි කොර ගසන බළලෙකු පැමිණ විසිරුණු ඉරිඟු ඇට ඉව කළේය. ඉරිඟුවලට ආශා නොකළ බළලා, ටුරොබ්ජොන් දෙස බලා කනගාටුවෙන් දෙපා අසල මුමුණන්නට විය.

“නැගිටින්න! ඉරිඟු එකතුකර ගන්න. බලන්න! බළලා ඒවා ඉව කරනවා.”

ඈ නැගිටින අතර උස් හඬින් කතා කරන්නට වූවාය.

“මේ දරුවා මොන තරම් අවාසනාවන්තද? ඇයි මම දෙළුම්වලටම ආසා කරන්නේ? මට වෙන දේකට ආසා නොහිතෙන්නේ ඇයි?”

ටුරොබ්ජොන් ඔහුගේ හිස පැළඳි තොප්පිය ඉවත් කළේ ය. එහි දූවිලි ගසා දැමීමට සැරසෙන අවස්ථාවේ ඔහු ලෝගුවේ ඉරී ගිය වැලමිට දුටුවේය. ඔහු ඒ ගැන කනගාටු විය. තුන් හතර වතාවකට වඩා එය සෝදා නොතිබුණි. එය අලුත් එකකි.

“බඩදරු ගෑනුන්ගේ ආසාව මොකක්ද කියලා මම අහල තියෙනවා. ඒත් ඒක ඉෂ්ඨ කරන්න පුළුවන් දෙයක් වෙන්න ඕනෑ. අපේ හැටියට ආසාව ඇති කරගන්න ඕනෑ!” පැවසූ ඔහු තම හිස් වැස්ම යළි පැළඳ ගත්තේ ය.

“දෙළුම්… දෙළුම්! දෙළුම් ගණන්. හැමදාම ඉර පායනකොටම නැගිටිනවා. වතුර අරං එනවා. දර පලනවා. ලිප පත්තු කරනවා. මට මාසෙකට ලැබෙන්නේ කොපෙක් දහඅටයි! ඉස්සරහට තත්ත්වය තවත් නරක අතට හැරෙනවා. මට කියලා සහෝදරයන් නැහැ.”

ඉන් පසුව දෙදෙනාගේම කතාබහ නතර විය. ඈ ඉරිඟු කොටා අවසන් කළා ය. එය බේසමකට දමන අතරතුරදී ඈ යළිත් මැසිවිලි නැගුවා ය.

“පැහැදිලිවම, ඔයා හිතන්නේ මම, මගේ වුවමනාවටම දෙළුම් ඉල්ලනවා කියලා නේද?”

“ඔයා එහෙම නෑ කියලා මම දන්නවා. නමුත් මම මොකද කරන්නේ? මම මගේ ලොක්කාව මරලා එයාගේ සල්ලි හොරකම් කරන්නද? නැත්නම් මාව අත්තිකාරමක් විදිහට තියන්නද ඔයා හදන්නේ.?”

ඈ යළිත් කෑම පිළියෙළ කිරීමට පටන් ගත්තා ය.

“හොයාගන්න පුළුවන් දෙයකට ආසා කරන්න!” සැමියාගේ වදන් වලින් ඇයගේ සිත පෑරුණි. ඇයගේ දෑසට කඳුළු ආවේ ය.

“කෑම සූදානම්.”

කල්දේරමේ මළකඩ නිසා ගෝජා අඳුරු පැහැයක් ගත්තේය. ඇඹුල් කිරිවලට පවා එහි වර්ණය වෙනස් කළ නොහැකි විය. ටුරොබ්ජොන් ගෝජා කැබලි දෙකක්ම කා දැමීය. ඈ තවදුරටත් පළමු කැබැල්ල සපමින් සිටියා ය. ඇයගේ පැකිලීම දෙස බලා සිටි ටුරොබ්ජොන්ට කිසියම් හේතුවක් නිසා කොර ගසන බළලා සිහිපත් විය.

“ජරා බඩඉරිඟු, ජරා ඇඹුල් කිරි, කාලකණ්ණි දර කෝටු!” තම සැමියාගේ සිතුවිලි කියවන අතර ඈ අකමැත්තෙන්මෙන් ආහාර ගත්තා ය. එය අවසන් කළ වහාම ඈ නිවස පිටුපසට දිව ගියා ය. රතු වූ දෑසින් යුතුව ඇය ආපසු පැමිණියා ය.

“ඔයා නූපන් දරුවා අවාසනාවන්තයෙක් කියලා කිව්වා… නැද්ද?” ඔහු තව තවත් ඇයගේ සිත පිරික්සමින් සිටියේ ය. ඈ නිහඬවම මේසය පිරිසිදු කළා ය.

“ඔයාට පිළා වදය වෙනුවට දෙළුම් ගෙඩියක් ගන්න තිබුණා නේද?” ඈ පහත් හඬින් ප්‍රශ්න කළා ය.

“ඔව්, මට තිබුණා!” ටුරොබ්ජොන් උපහාසයෙන් කියා සිටියේ ය.

“හරි, ඔයාට පුළුවන්!”

“මම කළ දේ හරි!” ටුරොබ්ජොන් දැඩි කේන්තියෙන් කීවේ ය.

ටුරොබ්ජොන් එසේ පැවසූවද, පසුව බිරිඳගේ තත්ත්වය දෙස බලා නැවතත් නිහඬ විය. ඔහුගේ ආඩම්බරය එයට ඉඩ නොදුන්නේ නම් ඔහු ඇයව වැළඳගෙන මිහිරි වචන පවසනු ඇත.

“ඔයා මාව තරහා ගස්සනවා!” ඔහු ටික වේලාවකට පසු පවසා සිටියේ ය.

“ඉතින් මම මී පැණි ගෙනාවම මොකද වෙන්නේ? ධනවතුන් වුණත් මී පැණි මිලදී ගන්න ලෝබයි! අපි දුප්පත්! මගේ ලොක්කාගේ යාළුවෙක් එයාට මී පැණි දුන්නා. නොදැක්කා වගේ… මම එයාගෙන් ඇහුවා මට මී පැණි ටිකක් ගන්න පුළුවන්ද කියලා. එයා ඒක මට දුන්නා.”

“මම හිතුවේ ඒකෙන් ඔයා සතුටු වෙයි කියලා. ඒවා රස නැද්ද? ඔයා ජීවිතේ කී පාරක් මී පැණි කාලා තියෙනවාද? මම එක පාරක් කෑවා. ෂෝකිර්හෝජා කැන්ඩි හදනකොට, මම මී පැණි සිරප් ටිකක් ලෙවකෑවා.”

ටුරොබ්ජොන් පවසන වචන ඔහුගේ බිරිඳට දැනුණේ තේරුමක් නැති දෙයක් ලෙස ය. ඔවුන් විවාහ වී වසර තුනක් ගතවී තිබුණි. ඇයට සමීප එකම පුද්ගලයා ඔහු විය. දෙළුම් ගෙඩිය ඇයගේ එකම සිහිනය විය. ඇයට ඒ දෙකම එකවරම අහිමිවන බවක් පෙනෙන්නට තිබුණි.

ඈ නිවස ඇතුළට ගියා ය. ටික වේලාවකට පසු ටුරොබ්ජොන් ද ඇතුළට පැමිණියේ ය. රාක්කය මත දැල්වෙන ලාම්පුවේ අලෝකය පැතිරුණි. ලාම්පුව වටා විශාල සලබයෙක් පියාසර කරන්නට විය. පිටුපස දොර අසල වාඩි වී දණහිස් මත හිස තබාගෙන අඳුරු අළු පැහැ අහස දෙස ඈ බලා සිටියා ය. සීරුවට දොර අසලට පැමිණ ටුරොබ්ජොන් එතැනම හිඳගත්තේ ය.

හූනෙක් චික් චික් ගාමින් හඬ නැගුවේ ය. ටුරොබ්ජොන්ගේ කනට ඒ ශබ්දය ඇසුණි. ඔහු අඳුරු අහසේ තරු දෙස බලා සිටියේ ය. පල්ලිය අසල කළු පොප්ලර් ගසට පිටුපසින් රතු පැහැති ආලෝකයක් නැගී අහසේ ඉහළට ඇඳී ගියේ ය. එය ඉහළටම පියාසර කළ අතර අහස් කුසට පහර දෙමින් විශාල ශබ්දයක් සමඟ කැබලිවලට කැඩී ගියේ ය.

“ඒ ගිනිකෙළි.” ටුරොබ්ජොන් පැවසී ය.

ඒවා මුල්ලාජොන්ගේ පළතුරු යායේ පත්තුකරන්නේ. බිරිය නිහඬව එය අසා සිටියා ය.

“නගර ප්‍රධානීන් ඒ උත්සවේට සහභාගි වෙනවා.” ඔහු නැවතත් පවසා සිටියේ ය.

බිරිය තවදුරටත් නිහඬව සිටියා ය. ඈ කිසිදිනක මුල්ලාජොන්ගේ පලතුරු වතුයාය දැක තිබුණේ නැත. එනමුත් එහි ස්වරූපය ගැන ඈ අසා තිබුණි. ඒ පලතුරු වතුයාය සිතින් මවා ගැනීමට ඈ උත්සාහ කළා ය. එය හුදෙක් පළතුරු වත්තක් නොවූයේ ය. එය දෙළුම් ගස්වලින් පිරුණු වතුයායක් විය.

“එක ගිනි කෙළියකට මිරි තුනක් වැය කරනවලු.” ටුරොබ්ජොන් නැවතත් පවසා සිටියේ ය.

“ගිනිකෙළි සියයක් පත්තු කළොත් මිරි සියයකට වඩා ඒකට වැය වෙනවා.”

පුළුල් ලෙස මුව විවර කරමින් ටුරොබ්ජොන් ගැඹුරු සුසුමක් හෙළුවේ ය. දෙදෙනාම දිගු වේලාවක් නිහඬව සිටියහ.

“මේක මහල දෙන්න.” ඔහු තම සළුව ගලවා ඈ අතට දුන්නේය.

බිරිඳ සළුව ගෙන පැත්තකින් තැබුවාය.

“ඉක්මන් කරන්න.” සුළු වේලාවක් බලා සිට ටුරොබ්ජොන් තරමක් උස් හඬින් පවසා සිටියේ ය.

“මාව තල්ලු කරන්න එපා… ඇයි ඔයා මට එහෙම කතා කරන්නේ? මම ඒක මහනවා. ඇයි ඔයා මාව ඉක්මන් කරන්න හදන්නේ?”

ටුරොබ්ජොන්ගේ හිස කෙස් ඉත්තෑ කූරු මෙන් දික්විය.

“හේයි! කා එක්කද කතා කරන්නේ කියල ඔයා දන්නවද?

“මම වැරදි දෙයක් කිව්වද? මම ඒක මහල දෙන්නම්.”

“හැම වෙලාවෙම ගැටලුවක් ලිහා ගන්න බැරි වුණොත් පවුලේ සාමය නැති වෙනවා.” සළුව පැළඳ ගනිමින් ටුරොබ්ජොන් තමාටම පවසා ගත්තේ ය. දුප්පත්කම

“දුප්පත්කම නැති වේවා!”

බිරිය එය පැමිණිල්ලක් ලෙස ටුරොබ්ජොන් ඉදිරියේම පවසා සිටියා ය. නමුත් ඔහු එය දෝෂාරෝපණයක් ලෙස සැලකුවේ ය.

“ඔයා මොකක්ද කිව්වේ? මම ඔයාව කසාද බඳින වෙලාවේ මගේ දුප්පත්කම හැංගුවද? ඔයා මගේ තත්ත්වය දැනගෙන හිටියා, නේද? නැත්නම් මඟුල්දා මම වෙන කෙනෙක්ගේ ලෝගුවක් හරි, සපත්තු හරි ඇඳගෙන ආවද? ඔයාට තාම ඉටුකරගන්න බැරි හීනයක් තියෙනවා නම් ගිහින් ධනවත් කෙනෙක්ව කසාද බැඳගන්න!”

“ඔයා ඔයාගේ ගෑනිව ධනවත් මිනිහෙකුගේ දෙළුම් ගෙඩියකට පාවා දෙනවා. ලැජ්ජයි!” ඈ හඬන්නට වූවාය.

ඒ වචන ඔහුගේ ආත්ම ගෞරවය පිළිබඳ හැඟීමක් ජනිත කළේ ය. ඔහුගේ වචන බිරිඳගේ ආත්මය රිදවූ තරමට ම එය ඔහුගේ හදවතට අනුකම්පා විරහිතව පහර දුන්නේ ය.

“හේයි! මම කවදාවත් ඔයාට දෙළුම් ගෙඩියක් ගෙනාවේ නැද්ද? මම කවදාවත් ඔයාට එකක්වත් ගෙනාවෙ නැතිද?, එහෙම නේද?” ඔහු මෘදු ලෙස අසා සිටියේ ය.

“නෑ!” බිරිය එසැණින් පිළිතුරු දුන්නා ය.

ටුරොබ්ජොන්ගේ දෑස මීදුමකින් මෙන් වැසී ගත් අතර ඔහු ඉදිරිපිට සියල්ල අඳුරු වන්නට විය.

“ගිය සතියේ දෙළුම් ගෙනාවෙ කවුද? ඔයාගෙ ආදරවන්තය ද ඒක ගෙනාවේ?”

“ඔව්! මගේ ආදරවන්තයා තමයි ඒක ගෙනාවේ!”

ඔහු තම බිරියගේ උරහිසට පයින් ගැසීමෙන් පසු නැගිට්ටාද නැතහොත් ඔහු නැගී සිටි පසුව ඇයට පයින් ගැසුවාද යන්න ඔහුට නොතේරුණි. බියටපත් වූ ඈ අවතාරයක් මෙන් දෑස පුළුල් කරගෙන ඔහු දෙස බලා සිටියා ය.

“ඒක කරන්න එපා… නවත්තන්න” ඈ හිස සොලවමින් මිමිණුවා ය.

ටුරොබ්ජොන් නිවසින් පිටව ගොස් ටික වේලාවකට පසු වීදියේ දොර විවෘත වී වැසී ගියේ ය. ඈ බොහෝ වේලාවක් හැඬුවා ය. ඇයගේ තියුණු වචන ගැන ඈ පසුතැවිලි වූවා ය. ඈ තමාටම ශාප කරගනිමින් තමා මිය ගියා නම් හොඳ යැයි ප්‍රාර්ථනා කළා ය. ඈ හඬමින් පිටතට ඇවිද ගියා ය. පරිසරය තද අඳුරක ගිලී පැවතුණි. ඈත මෑත බල්ලන් බුරන හඬ ඇසුණි. වීදියේ දොර විවෘතකර ඈ වටපිට බැලුවා ය. අවට කිසිවකු පෙනෙන්නට සිටියේ නැත. ඈතින් පිහිටි ගමේ සංගම් ශාලාව අසල පහනක් දැල්වෙන අයුරු දකින්නට ලැබුණි. ඈ නැවතත් නිවස දෙසට ගියා ය.

වහලය මත සිටි කුකුළා හඬ ලෑවේය. වීදියේ දොරටුව විවෘත වන හඬ ඇයට ඇසුණි. ඈ ඒ දෙස බැලූ අවස්ථාවේ විශාල පාර්සලයක් අතැතිව ටුරොබ්ජොන් පැමිණෙන අයුරු දුටුවා ය. ඔහු නිවස තුළට පැමිණ එය සාලය මැද තැබුවේ ය. සාළුව ලිහී දෙළුම් ගෙඩි සෑම දිශාවකටම විසිරී ගියේ ය. ඒවායින් සමහරක් නිවස තුළ වූ ළිඳ තුළට පෙරලී ගියේය. ටුරොබ්ජොන් තම බිරිඳගේ මුහුණ දෙස බැලුවේ ය. ඈ ඇඳ ඇතිරිල්ලක් මෙන් සුදුමැලි වී සිටියේ ය. ටුරොබ්ජොන් එතැනම වාඩිවී ඔහුගේ දෑත මත නළල තබා ගත්තේ ය. බියට පත් බිරිය කඩිමුඩියේ පැමිණි ඔහුගේ උරහිස මත අත තැබුවා ය.

“ඔයා කොහෙද ගියේ? ඔයා එතන මොනවද කළේ?” ඈ එක හුස්මට විමසාගෙන ගියා ය.

ටුරොබ්ජොන් කිසිවක් කතා නොකළේ ය. ඔහුගේ සිරුර වෙව්ලමින් තිබුණි.



https://www.divaina.lk/features/25913

Nissanka Rajapaksa

unread,
Dec 19, 2025, 6:50:40 PM12/19/25
to INDRAKA group
46
රතු ඇපල්

වියට්නාම් ජාතික වූං ටෑම් Vuong Tam විසින් Red Apples නම් කෙටිකතාව


පරිවර්තනය එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ


දැනගන්න වුවමනා කරන ගැහැනු ළමයෙකුගේ ලිපිනය එහි සඳහන් විය. මගේ අතේ තිබුණු කඩදාසි කැබැල්ල දෙස මම නැවතත් බැලුවෙමි. මට පුවත්පතක සඳහන් “යහළුවන් හඳුනාගැනීම” නමින් වූ මංගල යෝජනා ඒජන්සියකින් ඒ ලිපිනය එවා තිබුණි. ඇය ගැන තොරතුරු ඇත්තටම, ඈ කෙබඳු කෙනෙක් වනු ඇති දැයි කියා හිතාගන්නට බැරිවූ නිසා මම අපහසුතාවට පත්වී සිටියෙමි. ඇය මීටර 1 යි, සෙන්ටිමීටර 58 ක් උස බවත් “සෞඛ්‍ය සම්පන්න” බවත් එහි සඳහන් වුණි. එයින් ඈ මහත ද කෙට්ටුද කියලා කියන්න අමාරුයි. ඇයගේ විනෝදාංශය සිත්ගන්නා සුළු විය.

ඒ කාණ්ඩයේ ඈ ලියා තිබුණේ වචන දෙකක් පමණි. “දුක්බර සංගීතය”, පිටත සීතල විය. නිහඬ මාවතේ හිස් බවක් පෙනුණි. මම හන් අන් ගේ නිවස ගැන අහබලන්න කෙනෙක් සෙව්වෙමි. කොහේ හරි ඈතක සිට ළමයින් කණ්ඩායමක මිහිරි ගැයුමක් සමඟ පියානෝවක හඬ මට යාන්තමට ඇසුණි. “සෞම්‍ය නෙත් අම්මාගේ.” “ඒ දරු නැලවිල්ලට අපි ආසයි…”

මම සංගීතයේ රිද්මයට සවන් දෙමින් එහි සිටගෙන සිටියදී, පිරිමි ළමයකු මා දෙසට දුවගෙන ආවේ ය. මම ඔහුව නවතා මග පෙන්වන ලෙස ඉල්ලා සිටියෙමි.

“අර තියෙන්නේ, ඔයාට ගායනය ඇහෙන තැන එතනයි.” ඔහු පැවසුවේ මංතීරුවේ කෙළවරට ක්ෂණයෙන් ඇඟිල්ලක් දිගු කරමිනි.

“ඒ මිස් හන් අන් ගේ ගෙදර තමා.” යළිත් පවසා සිටයේය.

පිරිමි ළමයා ඇඟිල්ල දිගු කළ ස්ථානයට සමීපවන අවස්ථාවේ මගේ සිත වඩාත් නොසන්සුන්වීමට පටන් ගත්තේය. හදිසියේම, ළමයින් නිවසේ යකඩ ගේට්ටුව විවෘත කර මාවතට දිව ආහ.

“ආයුබෝවන්, මිස් හන් අන්!” ඔවුන් කෑ ගැසුවේය.

“හෙට හමුවෙමු.” හඬක් පිළිතුරු දුන්නේය. පැකිලීමකින් යුතුව මම ගේට්ටුව අසලටම ඇවිද ගිය අතර අඳුරු කාච සහිත කණ්ණාඩි යුගලයක් පැළඳ සිටි තරුණියක් දුටුවෙමි.

“සමාවෙන්න, ඔයා මිස් හන් අන් ද?”

“ඔව්, ඒ මම තමයි.” තරුණිය පිළිතුරු දුන්නාය.

“ඔයා කුඕන්ග් ද? අද ඔයා එන බව දන්වා මට පුවත්පත් ආයතනයෙන් ලිපියක් එවා තිබුණා. කරුණාකර ඇතුළට එන්න.”

ඒ මොහොතේ මහලු කාන්තාව නිවසින් පිටතට පැමිණ, හිස නමා මට ආචාර කර, යකඩ ගේට්ටුව යළි වසා දැමුවාය. ඉන්පසු හන් අන් ගේ අතින් අල්ලාගත් ඈ, ඇයත් සමග නිවසේ පඩිපෙළ නැග ගියාය. මම ඔවුන් පසුපස ගියෙමි.

“ඔයා චොපින් ට කැමතිද?” සතුටු මුහුණෙන් හන් අන් මවෙතින් අසා සිටියාය. වයෝවෘද්ධ කාන්තාවට ඈ මෙසේ පැවසුවාය.

“නැනී, කරුණාකර කුඕන්ග්ව සාලයට එක්ක යන්න.” මා දෙසට හැරී ඈ සිනාසුණාය.

“මට මිනිත්තු කිහිපයක් දෙන්න.” හන් අන් යාබද කාමරයට ගිය අතර මම මහලු නැනී පසුපසින් සාලයට ගියෙමි.

“කරුණාකර වාඩි වෙන්න.” ඈ පැවසුවාය.

“හැම උදේකම, හන් අන් මෙතන සංගීතය උගන්වනවා. ඔයා හොඳ වේලාවට ආවේ.”

විවෘත කවුළුව හරහා සීතල සුළඟක් හමා ආ අතර, සාලය පුරා සංගීත සටහන් පත්‍ර විසිරී තිබුණි. නැනී ඒවා අහුලා ගැනීමට පටන් ගත් අතර, කිරිගරුඬ ටයිල් මත විසිරී ඇති සංගීත සටහන් පත් එකතු කිරීමට මම ඇයට උදව් කළෙමි. එක් සංගීත පත්‍රිකාවක් අතින් ලියා ඇති බව මම අහම්බෙන් දුටුවෙමි. එහි ඉහළින් සටහනක් ද විය.

“ඔයා වෙනුවෙන්, හන් අන්. මේක සටන්බිමේ අගලක සිට ලියූ ගීතයක්. අපි එකට සටන් කළ දින මතක් වෙන්න. මම ඩෝන් තාන්.”

ඒ පත්‍රිකාව පියානෝව මත හෙමිහිට තැබූ මම නිහඬව මගේ පුටුවේ වාඩි වුණෙමි. මට ඉදිරිපස බිත්තියේ ඉහළින් ඡායාරූපයක් එල්ලා තිබුණි. තරුණ සොල්දාදුවකුට හේත්තුවී සිටින හන් අන් ගේ ඕවලාකාර මුහුණ සහ අහිංසක දෑස මට පැහැදිලිව දැකගත හැකි විය. ඈ විනෝදාස්වාදය වෙනුවෙන්ම කැපවුණු රංගන ශිල්පිනියක් ලෙස හමුදා කණ්ඩයට සම්බන්ධ වන්නට ඇති බව මම සිතුවෙමි. එසැණින් මම සොල්දාදුවකු මෙන් මගේ කරපටි සකස් කර ගත්තෙමි.

සංගීතඥයකු සමඟ සංවාදයක් පැවැත්වීම සරල යෝජනාවක් නොවන බව මම හොඳින් දැන සිටියෙමි. හොරණෑ හඬ සමග ගැයෙන ගීත රාවයත් එක්ක මගේ තුවක්කුව අතේ දරාගෙන සටන්බිමේ අගලක් තරණය කරමින් ඉදිරියට යාම ගැන මට කිසිදු පැකිලීමක් නොතිබුණි. ඒත් මේ මොහොතේ මගේ හැඟීම් හන් අන් වෙත නිවැරදිව ප්‍රකාශ කිරීම අපහසු වනු ඇතැයි මට හැඟී ගියේය.

මෙහි පැමිණීමට පෙර, මම ඇයට කුමක් කියන්නද යන්න පිළිබඳ මගේ සියලු අදහස් තාර්කිකව සකස් කරගෙන තිබුණි. එහෙත් දැන් මගේ මනස හදිසියේම හිස්වී ඇත. කුමක් සිදුවනු ඇතිදැයි මම ගැඹුරු හුස්මක් ගනිමින් කල්පනා කළෙමි. මම අවංක නම්…. ඒ මොහොතේම, හන් අන් ඇපල් පුරවාගත් ලොකු පළඟානක් රැගෙන සාලයට ඇතුළු විය. එය රතු ඇපල් වලින් පිරී තිබුණි. ඉන් වහනය වූයේ ඉතා ප්‍රසන්න සුවඳකි. හන් අන් ගේ ශරීරයේ හොඳ සමමිතියක් පවතින බව මම දැක ගතිමි. ඇත්තටම ඈ මා සිතුවට වඩා මහත වූවාය. ඈ පැළඳ සිටි අඳුරු කණ්ණාඩි දෙස මම බලාසිටින බව දැනගත් මහලු නැනී කලබල වූවාය.

“කරුණාකර ඇපල් කන්න.”

“ස්තූතියි”

නැනී කඩිමුඩියේ ඉදිරියට පැමිණ;

“මම ඔයාට ඇපල් පොතුඇරලා දෙන්නම්” යැයි පැවසුවාය.

“ඔයා එහෙම කරන්න ඕන නෑ නැනී. මට ඒක තනියම කරගන්න පුළුවන්.” හන් අන් පවසා සිටියාය.

“ආ.., ඒවා ලොකු ඇපල්.”

මහලු නැනී ව්‍යාකූලවූ බවක් පෙනෙන්නට තිබූ නිසා මා තුළ නොසන්සුන් බවක් ඇතිවුණි. ඈ පළමු ඇපල් ගෙඩියේ පොතු ඉවත්කරන අතරතුර හන් අන් මා දෙස අවධානයෙන් බලා සිටින බවක් පෙනෙන්නට තිබුණි.

“හන් අන්” මම කතා කළෙමි.

“ඔයා නිතරම චොපින්ගේ දුක්බර සංගීතය වාදනය කරනවාද?”

“ඔව්. සෑම දිනකම වගේ.”

“ඇයි?”

“ඇයි?” ඇය නැවත නැවතත් ප්‍රශ්න කළාය.

“අනේ නෑ!” හදිසියේම ඈ තිගැස්සී ගියාය.

“මම ඔයාට කිව්වානේ. දැන් ඔයා, ඔයාවම කපාගත්තා.” නැනී පැවසුවාය.

“මෙන්න, වෙළුම් පටියක්.”

එවැන්නක් සිදුවනු ඇතැයි ඇය දැන සිටින්නට ඇත. ඒ නිසා ඈ ඇයගේ සාක්කුවේ ගෝස් වෙළුම් පටි කිහිපයක් තබා ගෙන තිබුණි. ඇපල් ගෙඩියේ සුදු මදය දිගේ රතු ලේ බිංදුවක් ගලා ගියේය. මම ඉක්මනින් හන් අන් වෙත සමීපව ඇයගේ දබරැඟිල්ල වටා වෙළුම් පටිය තද කිරීමට උදව් කළෙමි. නැනී ඇපල් පළඟාන රැගෙන එතැනින් පිටව ගියාය.

හන් අන්ගේ දෑත් වෙව්ලන්නට විය. මම ඇයව සනසන්නට උත්සාහ කළෙමි.

“ලොකු දෙයක් නෙමේ! ඒක සුළු කැපුමක් විතරයි. සොල්දාදුවන් ලේ ස්වල්පයක් දැක්කට බය වෙන්නේ නැහැ.”

“ලේ” හන් අන් කෑගැසුවාය.

“ලේ එනවද?” ඇයගේ මුහුණ සුදුමැලි විය. ඈ හදිසියේම යම් ආකාරයක නරක සිහිනයක කිමිදුන බවක් පෙනෙන්නට තිබුණි. මම ඇයගේ ඇඟිල්ල වටා වෙළුම් පටිය තද කර අවසන් කළ සැණින්, ඈ මගේ අත අල්ලාගෙන දඟලමින්;

“මට පේනවා එයාගේ නළලේ ලේ. , වෙඩි උණ්ඩය වැදුණු තැන…”

හන් අන් බියවී සිටින ආකාරය දැක මගේ හදවත වේගයෙන් ගැහෙන්න විය. එකපාරටම, මහලු නැනී ආයෙත් සාලයට පැමිණ පැවසුවේ;

“කරුණාකරලා ඔයාගේ අමුත්තා බය කරන්න එපා.”

මට කතා කරන්න දෙයක් නොතිබුණි. කළයුත්තේ කුමක්දැයි හිතාගන්න බැරි විය. නමුත් හන් අන් එකපාරටම නැගිට සිටියාය.

“ඔයාගේ පුටුවෙන් නැගිටලා අනිත් හැමෝම වගේ දුවන්න.” ඈ පවසා සිටියාය

“ඔව්, මම අන්ධයි. බලන්න…”

හන් අන් ඇයගේ අඳුරු කණ්ණාඩි ගලවා දැමුවාය. ඇයගේ දෑසින් හැඟීමක් නැති උදාසීන බවක් පෙනෙන්නට තිබුණි. දෙදෙනාම මා දෙස බලා සිටියහ.

“ඔයා බයයි, ඒ නිසා කරුණාකරලා යන්න.” ඈ පැවසුවාය.

“එහෙම කියන්න එපා..” හන් අන් වෙතට හැරී නැනී පවසා සිටියා ය.

එසැණින් ඈ අඳුරු කණ්ණාඩි රැගෙන හන් අන් ගේ දෑස මත රැඳවූවාය. විශාල ප්‍රහාරයක් දියත් කිරීමට ආසන්නව සිටි හමුදා ඒකකයක් වෙනුවෙන් රංඟනයක නිරතවෙමින් සිටියදී පුපුරා ගිය කාලතුවක්කු උණ්ඩයකින් ඇයගේ දෑස අන්ධවී ඇති බව නැනී පවසා සිටියාය. නැනී කතා කරන අතරතුර හන් අන් නිහඬව බලා සිටියාය. මහලු කාන්තාව ගොරෝසු හඬකින් ඇයගේ කතාව අවසන් කළාය.

“එයාගෙ පෙම්වතා සිටියේ යුද පිටියේ. ඔහුගේ වීර මරණය දැනගත්තේ ඒ සිද්ධියෙන් පසුවයි.”

මගේ සන්සුන් මනෝභාවය නැවත අත්පත්කරගනිමින්, මම හන් අන් දෙසට ගොස් ඇයගේ අත් අල්ලා ගතිමි.

“මමත් සොල්දාදුවෙක්.” මම සන්සුන්ව කීවෙමි.

“මම බයයි කියලා හිතන්න එපා. මම ඇපල් ලෙලි ගහලා ඔක්කොම කනවා.”

මහලු කාන්තාව හන් අන්ව පුටුවක හිඳුවා, මා අතට කුඩා පිහියක් ගෙනැවිත් දුන්නාය. මම ඇපල් ගෙඩියක් ලෙලි ගහන්න පටන් ගත්තෙමි.

“හන් අන්.” මා ඈ දෙසට නැඹුරුව කතා කළෙමි.

“මට ළමයි එක්ක ඔයාගේ සංගීත පන්තියට සම්බන්ධ වෙන්න දෙනවද?”

ඈ පිළිතුරු දෙනතුරු මම බලාගෙන හිටියෙමි. නමුත් ඈ නිහඬව සිටියාය. “කපටිකම” නැනී පැවසුවාය.

“අපිට කවදාවත් මිස්ටර් කුඕන්ග් තරම් කරුණාවන්ත කෙනෙක්ව මුණගැහිලා නැහැ නේද?” මම නැනී දිහාට හැරී හිනා වුණා.

මා ඔවුනට සමීපවී ඇති බවක් දැනුණි.

“හන් අන්” මම නැවතත් කතා කළෙමි.

“මට ඔයා පියානෝව වාදනය කරනවා අහන්න ආසයි.”

හන් අන් නිහඬව සිටියාය. ඇයගේ මුහුණ නිහඬ බිත්තියක් වගේ වික්ෂිප්තවී තිබුණා. නැනී සෙමින් ඈ ළඟට සමීපවූවාය.

“යන්න…. පියානෝව වාදනය කරන්න.”

නැනී ඇයගේ මැණික් කටුවලින් මෘදු ලෙස අල්ලා ගත්තා. ටික වේලාවකට පසු, හන් අන් ඇයගේ සන්සුන්භාවය නැවත ලබාගත් බවක් පෙනෙන්නට තිබුණි.

“කුඕන්ග්, මට සමාවෙන්න.” ඈ පැවසුවා ය.

“වසර විස්සක් ගියත් මට යුද පිටිය අමතක කරන්න බෑ.”

හන් අන් නැඟිට ඇයගේ පැරණි පියානෝව වෙත වේගයෙන් ඇවිද ගියාය. නැනී මට වාඩිවී සිටින ලෙස සංඥා කළාය. පියානෝ බංකුවේ වාඩිගත් හන් අන් මා දෙස හැරී බලා;

“අපි එකිනෙකා දැන හඳුනා ගනිමු.” යැයි පැවසුවාය.

ඈ වාදනය කිරීමට පටන් ගත්තාය. පියානෝවේ මධුර සංගීතයේ හඬ කාමරය පුරා පැතිර ගියේය. ඈ වාදනය කළ තනුව, රිද්මය යුද්ධයේදී භාවිතා කරන පෙළපාලි ගීතයක් බව මම හඳුනා ගත්තෙමි. මම ඈ අසලට ගියෙමි. මේක සොල්දාදුවන් පිළිබඳ ගීතයක් විය යුතුයි. මේක ඩෝන් තන් විසින්ම හන් අන් වෙනුවෙන්ම රචනා කළ එකක්ද? මම එය කියවීමි.

ඇයගේ ඇඟිලි යතුරුපුවරුව මත පහසුවෙන් ලිස්සා ගිය අතර පෙරළෙන සාගරයේ රළ මතකයට නංවන ශබ්ද ඉන් නිකුත් විය. සංගීතයට සවන් දෙමින් සිටි මම ඒ මොහොතේ, කාලතුවක්කුවක් මත සිටගෙන පහර දීමේ නියෝගය සංඥා කිරීමට කොඩියක් ඔසවා ගත් කාලය සිහිපත් කළෙමි. ඈත සිට ඇමරිකානු ගුවන් යානයක් හදිසියේම අහසේ දර්ශනය විය. මම කාලතුවක්කුවේ කට කෙලින්ම ඒ දෙසට යොමු කළෙමි.

ඉතා ඝෝෂාකාරී පුපුරන සුලු ශබ්දයක් ඇසුණු අතර යම් කිසි ලෝහ කැබැල්ලක් මගේ කලවා සිදුරු කරනගෙන යන අවස්ථාවේ මම බිම ඇද වැටුණෙමි. ඈතින් පෙනෙන ගුවන් යානය දෙස බැලීමට මම උත්සාහ කළෙමි. විශාල ශබ්දක් නිකුත් කරමින් කෙතකට කඩා වැටී පසුව පන්දමක් මෙන් බුරබුරා නැගෙන ගිනිදැල්වලින් එය වැසී ගියේය.

“කරුණාකර වාඩි වෙන්න.” නැනී මා වෙත පවසා සිටි යායා.

මම කොච්චර වෙලාවක් හිටගෙන හිටියද කියලා මම දැනගෙන හිටියේ නැහැ. එහෙත් ඒ හඬින් මාව තිගැස්සුණි. හන් අන් පියානෝ වාදනය නතර කළාය.

“ඉතින්, ඔයාට වෙඩි බෙහෙත් සුවඳ මතකද?” ඈ විමසුවාය.

යළි මම ඇ අසලට ගියෙමි.

“මට පිපිරීමක් ඇහුණා.” පසුව මම ඊළඟ සිදුවීම පවසා සිටියෙමි.

“ඊට පස්සේ කහ පැහැති තාරකාවක් සහිත රතු කොඩියක් සුළඟේ ලෙලදෙන බව දැක්කා.”

“යුද්ධයේ සටන් කළ අයට විතරයි ඒ වගේ දේවල් හිතාගන්න පුළුවන්. ඔයා සටන් කළේ මොන පෙරමුණේද?” ඈ විමසුවාය.

එවර ඈ පියානෝව අසලින් නැගිට ගොස් නැනී ළඟින් වාඩි වූවාය. මම පෙති කපන ලද ඇපල් පළඟාන ඔසවා ඇයට පිරිනැමුවෙමි.

“මගේ පළමු සටන කඳුකරයේ.” මම කීවෙමි.

“ඒක අපූරුයි.” හන් අන් පැවසීය.

“ඔයා සැබෑ හැනෝයි සොල්දාදුවෙක්.”

ඇයට ආකර්ෂණීය හා ප්‍රීතිමත් සිනහවක් තිබුණි.

“ඉතින්” මම ඇසුවෙමි.

“ඔයා චොපින්ගේ දුක්බර සංගීතය වාදනය කරන්නේ කීයටද කියන්න?”

නැනී හදිසියේම නැගිටවිත්;

“අපි ඇපල් කාලා කතා කරමු. වෙනත් වෙලාවක දුක්බර සංගීතය අහමු, ඔයා මොකද හිතන්නේ?”

හන් අන් සිනාසුණි. මමත් එලෙස කළේය. ඇත්තටම මම දැනගෙන හිටියේ නැහැ, ඇයි මම මෙච්චර සතුටින් හිනා වෙන්නේ කියා. සමහරවිට හදිසියේ, අනපේක්ෂිත ප්‍රීතියෙන්.

එවර දොරේ සීනුව නාද වුණි. නැනී එළියට දිව ගියාය.

මම හන් අන් අත ඇපල් කැබැල්ලක් තැබුවෙමි. ඈ මගේ අත අල්ලාගෙනම එය තම අතට ගත්තාය.

“මේ ඇපල් ගෙඩිය ඇත්තටම රසයි නේද?” ඈ මිමුණුවාය.

නැනී නැවතත් කාමරයට ආවාය.

“මාසයකට කලින් මෙහෙට ආපු තායි මහත්තයා ආයෙත් ඔයාව බලන්න ඇවිත්” ඇය පවසා සිටියාය.

හන් අන් මොහොතකට නිහඬව සිටියාය. ඇය මා දෙසට හැරී ඇයගේ කණ්ණාඩි ගලවා දැමුවාය. ඇයගේ මිය ගිය දෑස දෙස බැලූ මට මගේ හැඟීම් පාලනය කර ගත නොහැකි විය.

මම ඇයගේ දෑත් තදින් අල්ලා ගත්තෙමි. එම මොහොතේම, වසර ගණනාවකට පෙර අගල් තුළ සිටි මගේ සගයන් අසල සිටින බවක් මට දැනුණි. මා ඉදිරිපිට සිටගෙන සිටින කාන්තා සොල්දාදුවා මගේ ජීවිත කාලය පුරාම මට විශ්වාසය තැබිය හැකි කෙනෙකු වූවාය.

මම හන් අන්ගේ උණුසුම් දෑත් අල්ලාගෙන මගේ උරහිස් මත තැබුවෙමි. හන් අන් සිනාසෙමින් දොර දෙසට හැරුණි.

“නැනී, කරුණාකරලා එයාට කියන්න මම මගේ සංගීත පන්තියට අලුත් සිසුන් ගන්නේ නැහැ කියලා.”

මම නැවතත් සිනාසුණෙමි. ඇය පැවසූ දේ විහිළුවක් නොවීය. මහලු නැනී ඉක්මනින්ම ප්‍රවෘත්තිය ලබාදීමට ගේට්ටුවට දෙසට ගියාය. හන් අන් සමග මම ඉතිරි රතු ඇපල්වල රස වින්දෙමි.


https://www.divaina.lk/features/19380

Nissanka Rajapaksa

unread,
Dec 22, 2025, 6:10:04 PM12/22/25
to INDRAKA group
47
නැකැත්කරුගේ එක දවසක්
 
Translation of ‘An Astrologer’s Day’ by R. K Narayan 
පරිවර්තනය-  හෙල්මලී ගුණතිලක

නැකත්කරු මධ්‍යහ්නය වෙද්දී නොවරදවාම තම රාජකාරිය අරඹා, තම මල්ලෙන් ඔහුගේ වෘත්තියට අදාළ ආම්පන්න පිටතට ගන්නේය. මීට කවඩි බෙල්ලන් දුසිමක්, විවිධ මායාකාරී රේඛා සටහන් සහිත හතරැස් රෙදි කඩක්, සටහන් පොතක් සහ පුස්කොල පොත් කිහිපයක් ඇතුළත් විය. ඔහුගේ නළලත ශුද්ධ වූ අළු සහ සාදිලිංගම් ආලේප කර තිබිණි. ඔහුගේ දෑස නිරතුරුවම අමුතු ආලෝකයකින් දිලිසුණු අතර අන්‍යයන් මෙය ඔහුගේ දුර දක්නා නුවණෙහි සලකුණක් ලෙස සැලකුවත් එය සත්‍ය වශයෙන්ම ගනුදෙනුකරුවන් ගැන නොකඩවා සෝදිසියෙන් සිටීම නිසා ඇතිවූවක් විය. පාට ආලේපිත නළලතට සහ දෙකොපුල් වැසුණු ගණ උඩු රැවුලට මැදිව තිබුණු බැවින් ඔහුගේ දෑසේ බලය දෙගුණ තෙගුණ වී ඉස්මතු විය. එවැනි පසුබිමක මෝඩයෙකුගේ දෑසට වුවත් එවැනි තෙදවත් බවක් ආරූඩ වනු නොඅනුමාන ය. මේ පෙනුම සම්පූර්ණ කිරීමට නැකත්කරු තම හිස වටා කහ පැහැති ජටාවක් ද බැඳ සිටියේය. මේ වර්ණ සංකලනය කිසිදා වැරදුණේ නැති අතර මිනිසුන් ඔහු වෙත ඇදී ආවේ අටපෙතියා හෝ ඩාලියා මල් පොකුරකට ඇදී එන්නන් විලසිනි. ඔහු හිඳ සිටියේ නගර ශාලාව පිහිටා තිබුණු උද්‍යානය අසලින් වැටුණු පාර අද්දර වූ අතු පතර විහිදුණු සියඹලා ගසක සෙවනක ය. උදෑසන සිට රාත්‍රිය දක්වා පුදුමාකාර සෙනඟක් මේ මාර්ගයේ එහා මෙහා ගමන් කළ බැවින් එය අපූරු තැනක් විය. මේ පාර අද්දර තවත් වෙළෙන්දෝ කීපදෙනෙක් සිටියහ. මෙහි බෙහෙත් බඩු වෙළෙන්දන්, සොරකම් කළ විවිධ සුන්බුන් වර්ග විකුණන අය, මැජික්කරුවන් ආදී අය දක්නට වූ අතර ඒ හැමටම වඩා ශබ්ද නඟමින් මුළු නගරයම එතැනට කැඳවූයේ බාල රෙදි වෙන්දේසි කළ වෙළෙන්දා ය. ඝෝෂාවෙන් ඔහුට දෙවැනි වූයේ පසෙක වූ රටකජු වෙළෙන්දා පමණි. ඔහු තම රටකජු සඳහා විවිධ විසිතුරු නම් භාවිත කිරීමට පුරුදු වී සිටියේය. ඇතැම් දිනවල එය ‘බොම්බේ අයිස් ක්‍රීම්’ ලෙසත්, තවත් දිනවල එය ‘දිල්ලි ආමන්ඩ් ඇට’ හෝ ‘රාජා ගේ ප්‍රණීත ආහාරය’ ලෙසත් ඔහු හැඳින්වූ අතර ඔහු වටා ගනුදෙනුකරුවෝ රොක් වූහ. 

මේ සෙනඟින් සැලකිය යුතු ප්‍රමාණයක් නැකත්කරු ඉදිරිපස ද තාවර විය. නැකත්කරු තම ව්‍යාපාරය කළේ රටකජු වෙළෙන්දා ගේ රටකජු ගොඩ අසල දල්වා දුම් දමමින් තිබුණු පන්දමේ ආලෝකයෙනි. මේ පෙදෙසට නගර සභාවේ විදුලි ආලෝකය නොලැබීම නිසා හාත්පස එක්තරා ආකාරයක මායාකාරී පෙනුමක් විය. මෙහි වූ ව්‍යාපාරිකයෝ අසල කඩ වීදියේ සාප්පු වල එළියෙන් හෝ ගෑස් ලාම්පු දෙකතුනක්, කණු මත රැඳවූ පන්දම් හෝ  පැරණි පාපැදි ලාම්පු ආදියෙන් තම ව්‍යාපාර ආලෝකවත් කරගත් අතර නැකත්කරු වැනි කිහිපදෙනෙක් පමණක් තමන්ගේ ම ආලෝක ප්‍රභවයක් රහිතව කටයුතු කළහ. මේ විවිධ ආලෝක තීරු සහ සෙවනැලි නිසා එහි අවට පරිසරයේ එක්තරා ආකාරයක අවුල් සහගත බවක් මැවුනද, නැකත්කරු නම් ඊට බොහොම කැමති විය. මීට හේතුව ඔහු අතීතයේදී නැකත්කරුවෙකු වීමට කිසිම බලාපොරොත්තුවක් නොතිබීමත්, අනාගතයේ සිදුවිය හැකි දේ ගැන සාමාන්‍ය මිනිසුන් තරමටම ඔහු ද කිසි දෙයක් නොදැන සිටීමත් ය. ඔහු තම අහිංසක ගනුදෙනුකරුවන් තරමටම නක්ෂත්‍රයට ආගන්තුකයෙකු විය. නමුත් ඔහු කී අනාවැකි ඇසූ අය සතුටටත් පුදුමයටත් පත් වූහ. ඔහුගේ මේ හැකියාව සත්‍ය වශයෙන්ම පළපුරුද්දත්, නිරීක්ෂණයත්, අනුමානයත් යන ඒවායේ සංකලනයක් විය. කෙසේ වෙතත්, ඔහුගේත් අවංක කුළී කරුවකුගේත් වෙනසක් නොතිබුණු අතර දවස අවසානයේ ඔහු ද තම වෙහෙස මහන්සියෙන් මුදල් උපයා තිබිණි. 

ඔහු පෙර කලෙක තම උපන් ගමෙන් පිටවූයේ විශේෂ සැලසුමකින් තොරවයි. තවදුරටත් එහි විසුවේ නම් තම මුතුන් මිත්තන් කළ පරිදි ඉඩම් අස්වද්දමින්, විවාහ වී, තම බඩ ඉරිඟු වගාවටත්, මහගෙදරටත් සීමා වී වයසට යන්නට ඔහුට ඉඩ තිබිණි. නමුත් එය එසේ සිදු වන්නට නියමිත වූයේ නැත. දිනක් ඔහු කිසිවෙකුටත් නොකියා නිවසින් පිට වූ අතර එදින ගමෙන් පිටවී හැතැප්ම සීයක් දෙසීයක් ගතවන තුරු ඔහුට නිවනක් දැනුණේ නැත. ඔහු වැනි සාමාන්‍ය ගැමියෙකුට මේ දුර සාගරයක් තරම් විශාල විය. 

නැකත්කරු ට මිනිසුන්ගේ ගැටළු ගැන හොඳ අවබෝධයක් තිබිණි. ඒවා බොහෝ විට විවාහ, මුදල් හෝ අන්‍යොන්‍ය බැඳීම් නිසා ඇතිවන අර්බුද බව ඔහු දැන සිටියේ ය. කාලයක් තිස්සේ ලද පළපුරුද්ද ඔහුගේ සංජානනය තියුණු කර තිබිණි. කෙනෙකු ඔහු වෙත පැමිණ ගතවෙනි පළමු විනාඩි පහ ඇතුළත ඔහුට ඔවුන්ගේ ගැටලුව වැටහිණි. එක ප්‍රශ්නයකට පයිස තුනක් අය කළ ඔහු, ගනුදෙනුකරුවා විනාඩි දහයක් වත් කතා කරන තුරු තම කට ඇරියේ නැත. මේ කාලය තුළදී ලැබෙන තොරතුරු, පිළිතුරු සහ උපදෙස් දුසිමකට වුව සෑහිණි. 

“ඔබේ මහන්සියට නියම ප්‍රතිපල ලැබෙන්නේ නැහැ.” 

තමන් ඉදිරියේ සිටින පුද්ගලයාගේ අත්ල දෙස බලා ඔහු මෙසේ කියූ විට පුද්ගලයන් දහයකින් නවයක්ම ඔහු හා එකඟ වීම සාමාන්‍ය සිද්ධියක් විය. 

නොඑසේ නම් ඔහු මෙසේ ප්‍රශ්න කළේය. “ඔබේ පවුලේ කවුරුහරි ගෑනු කෙනෙක් ඉන්නවද- දුරින් නෑදෑ වෙන කෙනෙක් හරි- ඔබත් එක්ක අමනාපයෙන් ඉන්න?” 

ඇතැම්විට ඔහු ඔවුන්ට දුන්නේ චරිත විශ්ලේෂණයකි. “ඔබේ ප්‍රශ්නවලට වැඩිහරියක් හේතුව ඔබේ ගති ස්වභාවය. සෙනසුරු ඔහොම පිහිටලා තියෙද්දී මීට වඩා වැඩි වෙනසක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඔබ පිටතින් රළු ගතියක් පෙන්නන, කලබලෙන් වැඩකරන කෙනෙක්” මෙවැනි දෑ කීමෙන් ගනුදෙනුකරුවෝ ඔහු ගැන වහා පැහැදුන හ. මීට හේතුව ඉතාම මෘදු හදැති අය පවා තමන් ට රළු ස්වභාවයක් ඇති බව ඇසීමට ඇති කැමැත්තයි. 

එදින රටකජු වෙළෙන්දා සිය පන්දම නිවා දමා නිවාස බලා යන්නට සැරසුණේය. මෙය නැකත්කරුටත් තම බඩු මුට්ටු එකලස් කර පිටත්ව යාමට සංඥාවක් වූයේ පන්දම නිවූ පසු ඔහුට ඉතිරි වූයේ දුරකින් වැටුණු කුඩා කොළ පැහැති ආලෝක තීරුවක් පමණක් වූ බැවිනි. කවඩි බෙල්ලන් සහ අනෙකුත් දෑ එකතු කරගත් ඔහු, ඒවා තම මල්ලට දමද්දී ම තමන් ඉදිරියේ වූ කොළ පැහැ ආලෝකය අවහිර වනු ඔහුට පෙනුණි. ඔහු ඉදිරියේ මිනිසෙකු සිටගෙන සිටියේය. මේ ගනුදෙනුකරුවකු විය හැකි බැවින් ඔහු මෙසේ කීවේය. 

“ඔබට මහන්සි පාටයි, ටිකක් ඉඳගෙන මාත් එක්ක කතාකරමු.” 

ඊට පිළිතුරු ලෙස අනෙකා පහත් හඬින් යම් අවලාදයක් කීවේය. නැකත්කරු තවදුරටත් තම ආරාධනය ඉදිරිපත් කළ විට අමුත්තා තම අත්ල ඔහුගේ මුහුණටම දිගු කර මෙසේ කීවේය.

“තමුසේ හිතාගෙන ඉන්නේ මහා ලොකු සාස්තරකාරයෙක් කියලාද?” 

නැකත්කරු ට දැනුණේ තමන් ව අභියෝගයට ලක් කරන ලද බවකි. ඔහු අමුත්තාගේ අත්ල ආලෝක තීරුව පැත්තට හරවා “ඔබේ ගති ස්වභාවය අනුව..” යැයි කියන්නට පටන් ගත්තේය. 

“අනේ මේ, ඕක නවත්තාගන්නවා! මට වැඩක් ඇති දෙයක් කියනවා!” අමුත්තා ගෝරනාඩු කළේය. 

මෙය අසා අපගේ නැකත්කාර මිතුරාට නොරිස්සුමක් දැනුණි. 

“මම එක ප්‍රශ්නයකට අය කරන්නේ පයිස තුනයි, ඒ මුදලට සාධාරණ දෙයක් ඔබට ලැබෙයි.”

මෙය අසා අමුත්තා තම අත වැරෙන් ඉවත් කර අන්නාවක් ගෙන එය නැකත්කරු වෙත දමා ගැසුවේය. “මට ප්‍රශ්න ටිකක් තියෙනවා අහන්න, හැබැයි තමුසේ බොරු කිව්වොත් මට මගේ සල්ලි ආපිට ඕන පොළියත් එක්ක,” ඔහු කීය. 

“මම දෙන උත්තර හරි නම් ඔබ මට රුපියල් පහක් දෙනවා ද?” 

“බෑ” 

“එහෙනම් අන්නා අටක්?”

“හරි, හැබැයි තමුසේ වැරදි නම් මට ඒ වගේ දෙගුණයක් ආපිට දෙන්න ඕන.” 

තවත් තර්ක රහිත ව මේ ගනුදෙනුවට දෙපාර්ශවය ම එකඟ විය. නැකත්කරු දෙවියන්ට යාඥා කරද්දී අනෙකා බීඩියක් දල්වා ගත්තේය. නැකත්කරු අමුත්තාගේ මුහුණ දුටුවේ ගිනිකූර දැල්වෙද්දී විහිදුණු එළියෙනි. මාවතේ මෝටර් රථ වෙතින් ඇසෙන නළා හඬ, අස්රිය රියැදුරන් අශ්වයන්ට නොසරුප් වදනින් බනින හඬ සහ මග යන එන්නන්නගේ ඝෝෂාව නිසා උද්‍යානයේ පැතිරුණු අඩ අඳුර කැළඹෙමින් තිබිද්දී ඔහු මොහොතක් නිසොල්මන් විය. අමුත්තා නොසැලකිල්ලෙන් බීඩිය උරමින්, දුම් පිඹිමින් ඔහු ඉදිරිපසින් ඇන තබාගෙන සිටියේය. නැකත්කරුට මහත් අපහසුතාවයක් දැනුණි. 

“මෙන්න ඔබේ අන්නාව අරගන්න, මට වැඩිය පුරුදු නැහැ ඔය අභියෝග. අනික දැන් පරක්කු වෙලා…” ඔහු තම බඩු මුට්ටු එකතු කරගන්නට පටන් ගත්තේය. 

එහෙත් අමුත්තා වැරෙන් ඔහුගේ අතින් අල්ලා ගත්තේ ය. 

“තමුසෙට දැන් මේකෙන් ගැලවෙන්න බැහැ, මම මෙතැනින් යද්දී තමුසෙම නේ මාව නවත්තාගත්තේ!”

ඒ ග්‍රහණයට මැදි වූ නැකත්කරු වෙව්ලන්නට විය. කොඳුරමින් කතා කළ ඔහුගේ කටහඬ බිඳුණි. 

“අදට මට යන්න දෙන්න, මම හෙට ඔහේ එක්ක කතා කරන්නම්.”

නමුත් අමුත්තා තම අත්ල ඔහු වෙත පා මෙසේ කීවේ කේන්තියෙනි. “අභියෝගේ නම් අභියෝගේ, හරි! අනාවැකි කියනවා බලන්න”

තම උගුර කට වියළී යන බවක් නැකත්කරු ට දැනුණි. 

“ඔහේ ගේ පවුලේ ඈතින් නෑදෑ වෙන ගෑනු කෙනෙක් ඉන්නවා…” ඔහු කියන්නට පටන් ගත්තේය. 

“ඕක නවත්තා ගන්නවා,”අනෙකා කෑ ගගැසුවේ ය. “මට ඒවා වැඩක් නැහැ, මම දැන් හොයමින් ඉන්නා දේ මට හම්බවෙනවාද විතරක් කියනවා. ඒකට උත්තර දීලා තමුසෙට යන්න පුළුවන්. හැබැයි තමුසේ ඒකට උත්තරේ කියන කම් මම තමුසෙගෙ ඔක්කොම කාසි ටික ගන්නවා.”

නැකත්කරු ස්ත්‍රෝත කීපයක් මුමුණා ඉනික්බිති මෙසේ කීවේය. 

“හරි, මම උත්තර දෙන්නම්, හැබැයි මම කියන දේ පිළිගන්න පුළුවන් නම් මට රුපියලක් දෙන්න ඕන, නැත්නම් මම කට අරින්නේ නැහැ, ඔහෙට කැමති දෙයක් කරන්න පුළුවන්.” 

සෑහෙන වෙලාවක් කේවල් කිරීමෙන් අනතුරුව අනෙකා මීට එකඟ විය. නැකත්කරු මෙසේ ඇසීය.

“ඔහේ මැරෙන්න කියලා අත ඇරලා දාලා හිටිය කෙනෙක්, මම හරි ද?”

“තව විස්තර කියනවා බලන්න.”

“ඔහේට පිහි ඇනුමක් වෙලා තියෙනවා.”

“තමුසේ මරු මිනිහෙක් නේ!” අමුත්තා තම කමිසය ගලවා කැළල පෙන්වමින් කීවේය. “තව මොනවාද?”

“ඉන්පස්සේ කිට්ටුව පිට්ටනියක තිබුණු ළිඳකට ඔහේ ව තල්ලු කරලා දාලා මැරෙන්න ඇරලා තිබුණා.”

“පාරේ ගිය කෙනෙක් මාව අහම්බෙන් දැක්කේ නැත්නම් එදා මාව මැරෙනවා,” මෙය අසා අනෙකා උද්යෝගයෙන් මත් වී කෑ ගැසුවේය. “කියනවා! මට කවදාද ඌව අහුවෙන්නේ?” ඔහු ඇසුවේ අත මිට මොළවමිනි.

“ඒක නම් සිද්ධ වෙන්නේ එහා ලෝකෙදි” නැකත්කරු පිළිතුරු දුන්නේය. “මීට මාස හතරකට කළින් ඈත නගරෙකදී ඔහේට පිහියෙන් ඇන්න ඒ මනුස්සයා මළා. ඔහෙට ආයෙත් කවදාවත් එයාව හම්බවෙන්නේ නැහැ.” මෙය අසා අනෙකා සිත් තැවුලෙන් කෙඳිරි ගෑවේය. 

“ගුරු නායක්-” 

“තමුසේ මගේ නම දන්නවා!” අමුත්තා කීවේ පුදුමයෙනි.

“අනෙත් හැම දේම වගේම මම ඒකත් දන්නවා. ගුරු නායක්, මම කියන දේට හොඳින් ඇහුම්කන් දෙන්න. ඔහේ ගේ ගම මෙතැන ඉඳන් උතුරට දවස් දෙකක දුරක්. ඊළඟ කෝච්චියේ නැගලා ගමට යන්න. ආයෙත් වතාවක් ගෙදරින් පිටවුනොත් තමුන්ගේ ජීවිතේ අනතුරේ.” ඔහු දෑඟිලි අතරට ශුද්ධ වූ අළු බිඳක් ගෙන එය අනෙකා වෙත පෑවේය. “මේක තමුන්ගේ නළලේ ගාගෙන ගෙදර යන්න. ආයෙත් කවදාවත් මේ දකුණු පළාතට එන්න එපා, එහෙම නෑවිත් හිටියොත් ඔහෙට අවුරුදු සීයක් ජීවත් වෙන්න පුළුවන්.” 

“මම ආයෙත් මොකට ගෙදරින් යනවාද?” අමුත්තා කල්පනා බරව කීවේය. “මම එහෙ මෙහෙ ගියේ මට මේ විපත කළ එකා හොයලා උගේ බෙල්ල මිරිකන්න.” ඉනික්බිති ඔහු පසු තැවීමෙන් හිස සැලීය. “ඌ මගෙන් බේරුණා. අඩුම ගානේ ඌ කළ දේ පටිසන් දීලා මළා නම් මට ඒ ඇති.” 

“ඔව්.” නැකත්කරු පිළිතුරු දුන්නේය. “එයා මැරුණේ ලොරියක හැප්පිලා.” මේ පුවත අසා අනෙකා සතුටු වූ බවක් පෙනුණි. 

නැකත්කරු තම ආම්පන්න මල්ලට දමාගනිද්දී හාත්පස හිස් ව පැවතිණි. ඔහු ඉදිරියේ වැටී තිබුණු කොළ පැහැති ආලෝක තීරුවත් ඒ වෙද්දී අතුරුදන් ව තිබුණු නිසා දසත පැතිරුණේ අඳුර සහ නිහඬ බව යි. ඔහුට කාසි අහුරක් දීමෙන් අනතුරුව අමුත්තා අඳුරේ නොපෙනී ගියේ ය. නැකත්කරු නිවසට එළඹෙද්දී මැදියම් රැය ද පසු වී තිබිණි. එළිපත්ත මත ඔහු එනතුරු බලා සිටි ඔහුගේ බිරිඳ ඔහු පමා වීමට හේතු කාරණා විමසා සිටියා ය.

“මෙන්න මේ සල්ලි ගණන් කරලා බලන්න, එක මිනිහෙක් ඔය ඔක්කොම දුන්නේ” ඔහු කාසි අහුර ඇය වෙත වීසිකරමින් කීවේය. 

“මෙතැන අන්නා දොළහමාරක් තියෙනවා,” ඈ සතුටින් ඉපිලෙමින් කීවාය. “මට එහෙනම් හෙට හකුරු ටිකකුයි පොල් ගෙඩියකුයි ගන්න පුළුවන්. පොඩි එකී දවස් ගාණක ඉඳන් පැණිරස කෑමක් හදලා දෙන්න කියලා ඉල්ලනවා, දැන් මට පුළුවන් ඒකිට රසකැවිල්ලක් හදලා දෙන්න” 

“ඒ කපටි මිනිහා මට වංචා කළා…ඌ මට රුපියලක් දෙනවා කියලායි පොරොන්දු වුණේ…” නැකත්කරු කීය. 

“ඔයා හිත කරදරයෙන් ඉන්න පාටයි, මොකක්ද ප්‍රශ්නේ?” ඔහුගේ බිරිඳ ඔහු දෙස බලමින් ඇසුවාය. 

“මුකුත් නැහැ” 

රාත්‍රී ආහාරයෙන් පසු, මිටි බංකුවේ අසුන්ගෙන සිටියදී ඔහු ඈට මෙසේ කීවේය. 

“ඔහේ දන්නවාද? අද මගේ හිතේ තිබුණු ලොකු බරක් අයින් වුණා. මේතරම් කල් මම හිතාගෙන හිටියේ මගේ දෑතේ එක මනුස්සයෙක්ගේ ලේ ගෑවිලා තියෙනවා කියලා. මම ගෙදරින් පැනලා ඇවිත්, මෙහෙ පදිංචි වෙලා, ඔහේ ව කසාද බැන්ද හේතුවත් ඒකයි. ඒත් බලද්දී ඒ මිනිහා මැරිලා නැහැ.”

“ඔයා මිනිහෙක් ව මරන්න හැදුවා?” ඈ විමතියෙන් ඇසුවා ය. 

“ඔව් අපේ ගමේ දී, ඒ මම මෝඩ වැඩ කරපු තරුණ කාලේ. ඒ කාලේ අපි  බිව්වා, සූදු කෙළියා, දවසක් ලොකු රණ්ඩුවක් ගියා- ඒත් දැන් මොකටද ඒ ගැන කල්පනා කරන්නේ? අපි නිදාගමු,” 

මෙසේ කියා ඈනුමක් හරිමින් ඔහු මිටි බංකුවේ දිගා විය. 





Nissanka Rajapaksa

unread,
Dec 24, 2025, 9:48:14 AM12/24/25
to INDRAKA group
48
මේ දරු දුකට නොසැලෙන සිත් කොහි වේදෝ !

ෆයොදෝර් දොස්තොයෙව්ස්කිගේ
The Heavenly Christmas Tree 
කෙටි කතාව

 රම්‍යා පුෂ්පලතා අමරසිංහ විසින් සිංහලට නගන ලද ඇගේ
'කාම ඊර්ෂ්‍යා සැපිනියගේ සාපය' විශ්ව කෙටිකතා සංග්‍රහයෙන්

   සය හැවිරිදි වියැති හෝ ඊට වඩා බාල වූ කුඩා පිරිමි දරුවෙක් ඒ උදෑසන අවදි වූයේ තෙත බරිත සීතල කුඩා බිං ගබඩාවක් තුළය. ගවුමක් වැනි ඇඳුමක් ඇඟලාගෙන සිටි ඔහු සීතලේ වෙවුලමින් සිටියේය. ඔහුගේ මුවින් පිට වුණු හුස්ම සුදු පාට දුම් වලාවක් සේ දිස්විණ. මුල්ලක තිබූ පෙට්ටියක් මත වාඩිවී මුවින් දුම් පිට කළ ඔහු ඒවා පාවී යන අයුරු බලමින් අලස විනෝදයක් ලැබුවේය. ඔහු සිටියේ හොඳටම බඩ ගින්නෙනි. අසනීපව සිටි තම මව නිදා සිටි ලෑලි ඇඳ කරා ඒ උදෑසන කිහිප වාරයක්ම ඔහු ගියේය. වෙල්ලවැහුමක් මෙන් කෙට්ටුවී සිටි මව කුමක්දෝ කුඩා පොදියක් කොට්ටයට තබාගෙන මෙට්ටය මත වැතිර සිටියාය.
   ඇය මෙහි පැමිණියේ කෙසේද? වෙනත් නගරයක සිට තම දරුවාද සමග මෙහි පැමිණි ඈ හදිසියේම අසනීප වන්නට ඇත. ගෙයි අහු මුලු කුලියට දුන් ගෙවල් අයිතිකාරිය ඊට දින දෙකකට පෙර පොලිසියට රැගෙන ගොස් සිටියාය. ගෙදර ලැගුම්ගෙන සිටි අය නිවාඩුව ළඟම එන බැවින් ගෙන් පිටව ගොස් සිටියහ. එහි ඉතිරි වී සිටි එකම තැනැත්තා නත්තල ගැන කිසිම බලාපොරොත්තුවකින් තොරව පසුගිය විසි හතර පැය මුළුල්ලේ තද බීමතින් වැතිර සිටියේය. කාමරයේ තවත් මුල්ලක අවුරුදු අසූවක් පමණ වූ අබල දුබල මහලු කාන්තාවක් සිටියාය. කවුරුවත් නැතිව මැරෙන්නට හැර සිටි ඇය කලකට පෙර දරුවන් බලා ගත් ආයා කෙනෙකි. රක්ත වාත වේදනාවෙන් කෙඳිරි ගාමින් හා වැලපෙමින් සිටි ඇගේ බැණුම් හා
අවලාද නිසා කුඩා දරුවා ඈ සිටි මුල්ලට යාමට බිය විය. පිට කාමරයේ තිබී ඔහුට බීමට වතුර ටිකක් ලැබුණද කිසිම තැනකින් පාන් වාටියකුදු සොයාගත නොහැකි විය. එබැවින් අම්මා ඇහැරවීමට ඔහුට සිතුණු වාර අනන්තය. අන්තිමේදී ඔහු අන්ධකාරය නිසා භීතියට පත් විය.
   අඳුරු වැටී බොහෝ වේලාවක් ගතවූ නමුත් කිසිම එළියක්දැල්වුණේ නැත. අම්මාගේ මුහුණ අතගාමින් සිටි දරුවා ඇය කිසිම හැල හොල්මනක් නොමැතිවත් බිත්තිය සේම සීතල වීත් සිටිනු දැක මවිතයට පත් විය

. "මෙතන හරිම සීතලයි." 

   දරුවාට සිතිණ. කිසිවක් සිතාගත නොහැකිව ටික වේලාවක් බලා සිටි දරුවා මිය ගිය තම මවගේ උරහිස මතට ඉබේම තැබුණු තම ඇඟිලි උණුසුම් කිරීමට කටින් පිඹින්නට වූයේය. ඉන් පසු සෙමෙන් ඇඳ අතගා බලා තම තොප්පිය ගත් ඔහු බිං ගබඩා කාමරයෙන් පිටවී ගියේය. ඔහු මීට කලින් පිටතට නොගියේ පඩි පෙළ උඩ වූ අසල්වැසි නිවස දොරකඩට වී දවස පුරාම බුරා වැටෙන බලු තඩියාට බියෙනි.එහෙත් එවේලේ බල්ලා එහි නොසිටි හෙයින් ඔහු වීදියට බැස්සේය.

"දෙවියනේ! මොන තරම් අපූරු නගරයක්ද!"

   ඉන් පෙර කිසි දිනක ඔහු එබඳු දෙයක් දැක නොතිබිණ. ඔහු පැමිණ සිටියේ නිරතුරුවම රාත්‍රිය ඝන අන්ධකාරයෙන් වැසී තිබුණ නගරයක සිටය. එහි මුළු වීදියටම වූයේ එකම එක පහන් කණුවකි. පහත් වහලවලින් යුතු වූ කුඩා ලෑලි ගෙවල්වල ජනෙල් සියල්ල වසා තිබිණ.ඇඳිරි වැටුණාට පසුව වීදිවල කිසිවෙක් දක්නට සිටියේ නැත. හැමෝම ගෙවල් තුළට වී දොර ජනෙල් වසා ගනිති.බලු රැළේ උඩුබුරලෑම මිස වෙනත් කිසිදු ශබ්දයක් නැත. සිය දහස් ගණන් බල්ලෝ මුළු රැය පුරාම බුරමින් සහ උඩුබුරලමින් සිටිති. එහෙත් ඒ නගරයේ උණුසුම තිබිණ. ඔහුට කෑමට යමක් ලැබිණ. නමුත් මෙහි! ඔහුට කෑමට යමක් පමණවත් ලැබුණා නම් ! මෙහි ඇත්තේ මොන තරම් ඝෝෂාවක්ද ! මෙය මොන තරම් මිනිසුන්ගෙන් අශ්වයන්ගෙන් හා අස්රියවලින් ගහන නගරයක්ද ! කොච්චර ආලෝකයක්ද ! සෙනඟ කොයි තරම්ද ! මෙහි ඇත්තේ මොන තරම් හිම පතනයක්ද ! හිම දුමාරය වලාකුළු ලෙසින් අශ්වයන් මතත් උණුසුම් හුස්ම නගන ඔවුන්ගේ කටවල් වටාත් රැඳී තිබිණ. කුඩු හිම අතර රැඳි ගල්වල හැපුණු අස් කුරවලින් හඬ නැගිණ. හැමෝම ගමන් කළේ අමාරුවෙනි. ඔහු කොයි තරම් ආසාවෙන්ද හිටියෙ මොනව හරි ඇබින්දක් කන්න ! එක් වරම ඔහුට මහත් අසරණ බවක් දැනිණ. ඇවිදගෙන ආ පොලිස් භටයා ළමයා දැක නුදුටුවාක් මෙන් මග හැර ගියේය.
   එහි තව වීදියක් තිබිණ. එය මොන තරම් පළල් වීදියක්ද ! සත්තකින්ම ඔහු එහි වාහනයකට යට වීමට වුවද ඉඩ තිබිණ. හැමෝම ඝෝෂා කරමින් තරඟයට වාහන පදවමින් සිටි අයුරු කොයි තරම්පුදුමද ! ඒ මදිවට ඒ වීදුරු කවුළුව තුළින් සීලිමට උස්ව සිටි ගසක් ඔහු දුටුවේය. එය ෆර් ගසකි. ගසේ හැම තැනම බොහෝ විදුලි බුබුළු, රන්වන් කඩදාසි, ඇපල් ගෙඩි,පුංචි බෝනික්කන් හා අශ්වයන්ද එල්ලා තිබිණ. ඉස්තරම්ම අයුරින් පිරිසිදුවටත් ලස්සනටත් ඇඳ පැලඳ සිටි ළමයින් කාමරයේ ඒ මේ අත දුව පනිමින්ද සිනාවෙමින්ද සෙල්ලම් කරමින් හා යම් යම් දේ කමින් බොමින්ද සිටිනු පෙනිණ. එවිට කුඩා ගැහැනු ළමයෙක් තවත් කුඩා පිරිමි ළමයෙකු සමග නටන්නට පටන් ගත්තාය. කොච්චර ලස්සන කුඩා ගැහැනු ළමයෙක්ද ! ජනේලය තුළින් ඔහුට සංගීත රාවයක් ඇසිණ. එදෙස බලා විස්මයට පත් දරුවා සිනාසිණ. එහෙත් සීතල නිසා ඔහුගේ දෙපාවල ඇඟිලි රිදුම් දෙන්නට විය. අතේ ඇඟිලි රතුවී හිරි වැටී තිබුණ අතර ඒවා එහා මෙහා කිරීමට අපහසුවී තිබිණ. ඔහුගේ පා ඇඟිලි සහ අතැඟිලි වේදනා ගෙන දෙන බව එක් වරම කුඩා දරුවාට දැනිණ.
අඩන්නට පටන්ගත් ඔහු දුවන්නට විය.   
    නැවතත් තවත් ජනේලයක් තුළින් ඔහු තවත් නත්තල් ගසක් දුටුවේය. එහි මේසයක් මත හැම වර්ගයේම කේක් තබා තිබිණ. කජු කේක්, රතු කේක්, කහ කේක් එහි තිබිණ.ලස්සන තරුණ කාන්තාවෝ තිදෙනෙක් එහි ඉඳගෙන සිටියහ. ඔවුන් වෙත පැමිණෙන සෑම කෙනෙකුටම ඔවුහු කේක් දුන්හ. දොර විවෘතව තිබිණ. වීදිය දෙසින් පැමිණි නෝනාවරු සහ මහත්වරු එහි ඇතුළු වූහ. දරුවා බඩ ගා ගොස් එක් වරම දොර හැර එහි ඇතුළු විය. අනේ !ඔවුන් ඔහු එළවා ගත් සැටි ! ඔහුට බැණ වැදුණ සැටි ! වහා ඔහු වෙතට ආ කාන්තාවක් කොපෙක් එකක් ඔහු අතෙහි හෙළා ඔහුට විදියට යාමට තම අතින්ම දොර හැර දුන්නාය. ඔහු කොතරම් බියෙන් තැති ගත්තේද යත් කොපෙක් කාසිය පෙරළී ගොස් පඩි පෙළ මතට වැටුණේ සීනු හඬක් නංවමිනි. එය අල්ලා ගැනීමට ඔහුගේ සීතලෙන් රතු වී ගිය ඇඟිලි නවා ගැනීමට ඔහුට නොහැකි විණ. 
   එතැනින් දිවූ දරුවා දිගටම ගමන් කෙළේය. කොහේ යන්නේදැයි ඔහු නොදත්තේය. ඔහුට යළි ඇඬෙන්නට ආ නමුත් බියවූ ඔහු තම ඇඟිලිවලට පිඹිමින් නොනැවතී දිව ගියේය. එක් වරම දැනුණු තනිකම හා බිය නිසා ඔහුට අසරණ බවක් හැඟිණ. දෙවියනේ ! මේ කුමක්ද ! රැස්වූ සෙනඟ ඉතා ඕනෑ කමින් යමක් නරඹමින් සිටියහ. රත් පැහැති සහ කොළ පැහැති ඇඳුමෙන් සැරසුණු පුංචි බෝනික්කෝ තුන් දෙනෙක් වීදුරු කවුළුවක් පිටුපස සිටියහ. සැබවින්ම ඔවුන් පෙනුණේ පණ ඇත්තවුන් ලෙසිනි. එක් බෝනික්කෙක් ලොකු වයලීනයක් වයමින් වාඩිවී සිටි කුඩා මහල්ලෙකි. ඔහුට ළංව සිටගෙන උන් අනිත් දෙදෙනා කුඩා වයලීන වයමින් තාලයට හිස සලමින් එකිනෙකා දෙස බලමින් සිටියහ. ඔවුන්ගේ තොල්
සෙලවුණේ ඇත්තටම කතා කරන්නාක් මෙනි. වීදුරුව තුළින් කිසිවෙකුට ඇසුණේ නැතුවා පමණි. දරුවාට සිතුණේ ඒ පණ ඇත්තවුන් කියාය. ඒ බෝනික්කන් බව වටහා ගත් ඔහුට සිනා ගියේය. ඔහු කිසි දාක එවැනි බෝනික්කන් දැක තිබුණේ නැත. එවැනි බෝනික්කන් සිටින බවක් ඔහුට සිතාගැන්මටවත් පුළුවන් කමක් තිබුණේ නැත. දරුවාට අඬන්නට සිතිණ. එහෙත් බෝනික්කන් නිසා ඔහු තුළ හට ගත්තේ සොම්නසකි. 
   පිටුපසින් පැමිණි කිසිවෙකු ඔහුගේ කොලරයෙන් අල්ලනු ඔහුට දැනිණ. ඔහු පසෙකින් සිටගෙන සිටි නපුරු ලොකු පිරිමි ළමයෙක් එක වරම ඔහුගේ ඔළුවට ගසා තොප්පිය උදුරාගෙන ඔහුගේ කකුල් පටලැවීය. දරුවා බිම ඇද වැටිණ. එක වරම කෑගැහිල්ලක් ඇසිණ. බියෙන් හිරි වැටී ගිය ඔහු පැන නැගිට දිව ගියේය. යන්නේ කොහේදැයි නොදැන දිව ගිය ඔහු ගේට්ටුවකින් ඇතුළු වූයේ කිසිවෙකුගේ වත්තකටය. ඔහු එහිවූ දර ගොඩක් පිටුපස වාඩි විය.

 "ඒ ගොල්ලො මාව හොයාගන්න එකක් නැහැ. මෙතන කරුවල හින්දා."

   හුස්ම නොවැටෙන තරමට බියට පත් ඔහු ගුළි ගැසී ගති. එහෙත් එක් වරම හදිසියේ මෙන් ඔහුට තද සතුටක් දැනිණ. හදිසියේම ඔහුගේ දෑත් සහ දෙපාවල රිදීම පහව ගොස් උණුසුමක් දැනෙන්ට පටන් ගති. උදුනක් උඩ සිටින්නාක් මෙන් ඔහුට දැනිණ. ඉන් පසු ඔහුගේ සියොලඟම වෙවුලුම් ගති. එක් වරම ඔහු තිගැස්සිණ. මන්ද යත් ඔහු තද නින්දකට වැටෙන්නටඇත.මෙතනට වී නිදන්නට ලැබීම කොච්චර හොඳද !

 "මං මෙතන ටිකක් වෙලා ඉඳගෙන ඉඳල ආයෙත් ගිහිල්ල බෝනික්කන්ව බලල එන්න ඕන." 

   දරුවා තමාටම කියා ගති. ඔවුන් ගැන සිතූ ඔහුට සිනා ගියේය. 

"හරියටම ඒ ගොල්ලො පණ පිටින් වගේ." 

   සැණෙකින් තම මව ගීයක් ගයනු ඇසිණ.

"අම්මා ! මම නිදි. මෙතන නිදියන්න කොච්චර අපූරු තැනක්ද !"

"දරුවො ! එන්නකො මගෙ නත්තල් ගහ ළඟට." 

   තම හිසට උඩින් සිට මුදු හඬක් මුමුනන්නා සේ ඔහුට ඇසිණ. ඒ තම මවම යැයි ඔහුට සිතුණු මුත් ඒ ඈ නොවූවාය. කතා කරන්නේ කවරෙකුද යන්න ඔහුට නොපෙනිණ. එහෙත් අන්ධකාරයේම කිසිවෙකු ඔහු වෙත නැඹුරුවී එක් වරම තදින් ඔහුතුරුලු කරගත්තේය . දරුවා තම දෑත් ඔහු වෙත දිගු කළේය. එක වරම අහා ! මොන තරම් දීප්තිමත් ආලෝකයක්ද ! කොතරම් අපූරු නත්තල් ගසක්ද ! එය ෆර් ගසක් නොවීය. එවැනි ගසක් ඔහු කිසි දිනක දැක තිබුණේ නැත. ඔහු වටේම බෝනික්කෝ සිටියහ. නැත. ඒ බෝනික්කෝ නොවූහ. දීප්තිමත්ව බැබළුණු කුඩා පිරිමි දරුවෝ සහ ගැහැනු දරුවෝය. පියාඹා විත් ඔහු වටකොටගත් ඔවුහු සියල්ලෝම ඔහු සිප ගැනීමෙන් පසු ඔහු ඔසවා රැගෙන ගියහ. ඔහුද පියාඹමින් සිටියේය. තම මව තමා දෙස බලමින් සතුටෙන් සිනාසෙනු ඔහු දුටුවේය.

"අම්මා ! අම්මා ! අනේ ! මෙතන කොච්චර හොඳ තැනක්ද අම්මා !"

   පසු දින උදෑසන පහළ පොළොව මත වූ දර ගොඩක් උඩ සීතලෙන් දරදඬුව ගිය දරුවාගේ කුඩා මළ සිරුර වතු සේවකයාට හමු විය. ඔවුහු ඔහුගේ මවද සොයාගත්හ. ඇය ඔහුට පෙර මියගොස් සිටියාය.



Nissanka Rajapaksa

unread,
Dec 25, 2025, 4:48:14 AM12/25/25
to INDRAKA group
49
අශ්වයෙකු සහ එළුවෝ දෙදෙනෙකු 

Translation of the short story ‘A Horse and Two Goats’ by R. K Narayan

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 

ඒ ගම්මානය කෙතරම් කුඩා එකක්ද යත් එය කිසිම සිතියමක සලකුණු ව තිබුණේ නැත. ප්‍රාදේශීය මිනින්දෝරු සිතියම් වල පවා එය ලකුණු වුයේ ඉතා කුඩා තිතකිනි. ‘කිරීටම්’ නම් වූ එහි දෙමළ බසින් තේරුම ඔටුන්නයි. ගම්මානයට පිවිසෙන තැන, දොරටුපාල ස්වරූපයෙන් දක්නට වූයේ මැටියෙන් තනා, පුළුස්සා, විවිධ පැහැ තවරන ලද අශ්වයකුගේ පිළිමයකි. මේ අශ්වයා ඉතා ගාම්භීර ලෙස හිස හරවා, තම ඉදිරි ගාත් ඔසවා සිටි අතර උගේ වලිගය අලංකාර ලෙස විසිරී තිබිණි. අශ්වයාට පසුපසින් තිබුණේ රණශූරයකුගේ පිළිරුවකි. ඔහු දෑකැති වැනි උඩු රැවුලක්, පිටතට නෙරූ දෑස් සහ තියුණු නාසයකින් හෙබි විය. මේ පිළිම නෙළූ අය සටන්කරුගේ විශාල දෑසින් ශක්තියත්, ගෙලේ වූ මැණික් මාලයෙන් ඔහුගේ ධනවත් බවත් පෙන්වීමට උත්සාහ කර තිබිණි. මේ වෙද්දී හිරු එළියට පිළිස්සී, වැස්සට සේදී පැහැය වියැකී තිබුණත් අතීතයේදී මේ මාලය කොළ, රතු මැණික් හා දියමන්ති එබ්බවූ ලෙසින් දිස් විය. දැන් දැන් අශ්වයා පුල්ලි සහිත බවක් පෙනුණද අතීතයේදී ඌ ඇපිල්ලූ රෙද්දක් සේ සුදු පැහැයෙන් බැබලුණු අතර උගේ පිට මත- රතු කළු කොටු සහිත බ්‍රොකේඩ් රෙද්දක් පින්තාරු කළ බවක් පෙනුණි. සටන්කරුගේ අතෙහි වූ කඩුව විචිත්‍ර වර්ණ වලින් අලංකාර කර, ඔහුගේ ඉන බැඳි රෙදි පටිය ඊට හාත්පසින් වෙනස් වර්ණයෙන් පාට ගන්වා තිබිණි. 

මේ අවට ප්‍රදේශයේ තැන තැන තිබුණු මෙවැනි අනෙත් පිළිම රැස විලසින්ම මෙයත්, හැම දෙනාටම නොපෙනී, අමතකව ගිය එකක් විය. ගඳපාන සහ පතොක් පඳුරු වැවී වල් බිහිවී තිබුණු මේ පිළිම, ගමේ රස්තියාදුකරුවෝ පවා නොසලකා හැරියෝහ. මේ දිනයේ පිළිමයට සමීපයේ වූ පතොක් පඳුරක හෙවනක මහලු මිනිසෙකු නිදි කිරමින් සිටියේය. ඔහුගේ එළුවෝ දෙදෙනා අසල උලා කමින් පසුවූහ. කොළ පැහැති බසය ඈත කන්ද බැස එදෙසට පැමිණෙන තුරු මිනිසා බලා සිටියේ ඔහුට එතැනින් ඉවත්ව නිවස බලා යන්නට ලැබෙන සංඥාව එය වූ බැවිනි. එහෙත් ඒ වෙනුවට එහි පැමිණියේ මෝටර් රථයකි. එහි රියදුරු පිළිමය දුටු සැණින් වැරෙන් තිරිංග තද කර, රථය නවත්වා, බිමට පැන, ඒ වෙත ගියේය. 

“නියමයි!” ඔහු පිළිමය වටා ඇවිදිමින් කෑ ගැසුවේය.

ඔහුගේ මුහුණ අව්වට පිළිස්සී රත් පැහැ ව තිබිණි. ඔහු හැඳ සිටියේ කාකි පැහැති කොට කලිසමක් සහ කමිසයකි. අසල උන් මහලු මිනිසා දැක ඔහු ආචාරශීලීව ඉංග්‍රීසි බසින් “ඔබට කොහොමද?” කීවේය. 

මහලු මිනිසා පිළිතුරු දුන්නේ ඔහුගේ එකම සන්නිවේදන මාර්ගය වූ පිරිසිදු දෙමළ බසිනි. 

“මගේ නම මුනි. අර ඉන්න එළුවෝ දෙන්නා තනිකරම මගේ. මුළු ගමක්ම ඕකට අනම් මනම් කියන්න පුළුවන් හැබැයි මුන් දෙන්නාට වෙන කිසි කෙනෙකුට අයිතිවාසිකම් කියන්න බැහැ.”

රතු මුහුණින් යුත් ආගන්තුකයා ගල් කුළු අසල උලා කමින් සිටි එළුවන් දෙස මොහොතක් බලා, සිගරට්ටුවක් පිටතට ගෙන, “ඔබ දුම් බොනවාද?” විමසුවේය. 

“මම නම් ඔය විස්තරය ඇහුවෙත් ඊයේ තමයි.” මුනි කලබලයෙන් කීවේය. ඔහු සිතුවේ මේ කාකි ඇඳුම් ඇඳ සිටින්නේ පොලිස් නිලදරුවෙකු බවත්, ළඟදී ඒ ප්‍රදේශයේ වූ මිනී මැරුමක් ගැන ඔහු තමන්ගෙන් තොරතුරු විමසන බවත් ය. 

“මම ආවේ නිව් යෝක් ඉඳන්, අහලා තියෙනවාද? අමෙරිකා?” 

නිව් යෝක් කෙසේ වෙතත් අමෙරිකා යන වදන තමන් උච්චාරණය කරන ලෙසට, එනම් ‘ඇහ්-මෙ-රික්යා’ ලෙසට කියනු ලැබුවේ නම් මහලු මිනිසා එය තේරුම් ගන්නට ඉඩ තිබිණි. නමුත් මේ අවස්ථාවේදී නම් ඔහුට කිසිවක් නොතේරුණි. 

“මේ දවස්වල නරක මිනිස්සු හැම තැනම. ඔය සිනමා බලලා තමයි මිනිස්සු නරක් වෙන්නේ, වැරදි  දේවල් කරන්න ඉගෙන ගන්නේ ඒවායින්. ඇත්තටම දැන් කාලේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන්” ඔහු යටහත් පහත් ව කීවේය. 

“ඔබ දන්නවා ඇති මේ අශ්ව පිළිරුව තනන්නට ඇත්තේ කොයි කාලේද කියලා” අමුත්තා කෘතඥ ව සිනාසෙමින් ඇසුවේය. 

මේ සාමකාමී වාතාවරණයට ගැලපෙන පරිද්දෙන් මහලු මිනිසා ද හිනැහුණි. හිනැහෙමින් ම ඔහු මෙසේ බැගෑපත් විය.

“අනේ මහත්තයා මෙතැනින් යන්න. මම කිසි දෙයක් දන්නේ නැහැ. වැරදි වැඩ කරන කෙනෙක් හම්බවුණොත් මහත්තයා වෙනුවෙන් අල්ලලා තියාගන්න බවට මම පොරොන්දු වෙනවා. හැබැයි අපේ ගමේ නම් කවුරුත් එහෙම නැහැ, සමහරවිට එහා ගමේ වෙන්න ඇති.” 

“මම කියන දේ තේරුම් ගන්න උත්සාහ කරන්න, මම හෙමින් කතාකරන්නම්,” රතු මුහුණැති මිනිසා කීවේය. “මම මේ රටට ආවේ සති තුනකට කළින්. මේ වෙද්දී මම ඔබේ අලංකාර රට පුරා හැතැප්ම පන්දාහක් විතර ඇවිදලා තියෙනවා.”

මෙය අසා මහලු මිනිසා යටි උගුරෙන් ශබ්ද කිහිපයක් නැගුවේය. මින් දිරිමත් වූ අමුත්තා තමන් එරටට පැමිණි කාරණාව දීර්ඝ ලෙස පැහැදිලි කළේ හැම වචනයක්ම සෙමින්, පැහැදිලි ව උච්චාරණය කරමිනි. ඔහු ඒ රටට කෙතරම් කැමති ද යන වග, ඔහු තම උපන් රටේ කළ රාජකාරි, ඉන්දියාවේ සංචාරය කිරීමට ඔහු වසර ගණනක් තිස්සේ සැලසුම් කළ හැටි, අනාගත බලාපොරොත්තු - මේ හැම දෙයක්ම ඔහු පැහැදිලි කළේ වරින් වර කතාව නවත්වමින්, මිතුරු සිනහවක් පාමින් ය. මහලු මිනිසා මීට පිළිතුරු ලෙස සිනාසුණත් කිසිවක් කීවේ නැත. අන්තිමේදී අමුත්තා මෙසේ කීවේය. 

“ඔබගේ වයස කීයද? ඔබට හරි ලස්සන දත් දෙපෙළක් තියෙනවනේ, ඒ ඇත්ත ඒවාද? ඔබේ රහස කුමක්ද?” 

මහලු මිනිසා නළල රැළි ගන්වා දුක්මුසුව මෙසේ පිළිතුරු දුන්නේය. 

“සමහර වෙලාවට අපෙත් හරක් අතුරුදන් වෙනවා, එතකොට අපි ගිහින් නැකත්කාරයෙක් හම්බවෙනවා. එයා කපුරු දැල්ලක් දිහා බලලා අපිට කියනවා නැතිවුණු සත්තු හොයන්න කොයි අතට ද යන්න ඕන කියලා… මම දැන් ගෙදර යන්න ඕන,” මෙසේ කියමින් ඔහු යන්නට හැරුණේය. 

අනෙකා ඔහුගේ උරෙන් අල්ලා නවත්වා ඉතා උනන්දුවෙන් මෙසේ ඇසුවේය. 

“මේ හරියේ කවුරු හරි- කවුරුම හරි ඉන්නවද මම මේ කියන දේ පරිවර්තනය කරන්න පුළුවන් කෙනෙක්?” ඔහු මේ උණුසුම් හවස් වරුවේ පාලුවට ගොස් තිබුණු මාවතේ ඒ මේ අත බලන්නට විය. හදිසියේ හැමූ සුළඟක් දුහුවිල්ලත්, මාවත අයිනේ වූ වියළි පත්‍රත් අවුස්සා, විනිවිද පෙනෙන කුලුනක් සේ ඒවා මොහොතකට රඳවා, කඳු පාර වෙත තල්ලු කළේය. 

“මේ පිළිමය ඔබේද? මට ඒක විකුණනවාද?”

අමුත්තා මේ අසන්නේ අශ්ව පිළිමය ගැන බව මහලු මිනිසා ට වැටහිණි. ඔහු මඳක් කල්පනා කර මෙසේ කීවේය. “මගේ සීයා මේ අශ්වයාත්, සටන්කාරයාත් ගැන මට විස්තර කියද්දී මම මේං මේ තරම් විතර පැංචෙක්. මම හිතන්නේ සීයාට එයාගේ සීයා ඒක කියද්දීත් එයා ඒ තරම් විතර ඇති.. ඒ සීයාගේ සීයාත්…” පිළිමයේ පැරණි බව ගැන විස්තර කියන්නට ගොස් අතීතාවර්ජනය නමැති ගොහොරුවේ ඔහු තව තවත් ගිලෙන්නට වූ අතර අන්තිමේදී ඔහු මෙසේ කියමින් අමාරුවෙන් ඉන් ගොඩට පැමිණියේ ය. 

“මගේ සීයාගේ සීයාගේ මාමා මේ ගැන හරියටම දන්නවා, හැබැයි මට එයාව මතක නැහැ.” 

“මට මේ පිළිමය කොහොමහරි ගන්න ඕන.” අමුත්තා කීවේය. “ඔබ මට වැඩි මිළක් නොකියාවි කියලා මම හිතනවා” 

“මේ අශ්වයා,” මහලු මිනිසා තවදුරටත් විස්තර කරන්නට විය. “කලියුගය අවසානේ දහවෙනි අවතාරය හැටියට පෙනී ඉන්න නියමිතයි.”

අමුත්තා එයට හිස සලා එකඟ විය. ඔහු ‘අවතාර’ යන වචනය දැන සිටියේය. 

“මේ කලියුගය අවසානයේදී මේ ලෝකයත්, අනෙත් හැම ලෝකයක්මත් විනාස වෙනවා. එතකොට තමයි කල්කි කියන අශ්වයාගේ වේසයෙන් ගැලවුම්කාරයා එන්නේ. උන්නාන්සේ හොඳ මිනිස්සුන්ට උදවු කරලා නරක මිනිස්සුන්ව මහා ගං වතුරකින් යටවෙන්න අරිනවා. එදාට මේ පිළිමයේ අශ්වයාට පණ එනවා. ඒ නිසා තමයි අපේ ගම මුළු ලෝකෙන්ම උතුම් ම ගම වෙන්නේ.” 

“මම සාධාරණ ගාණක් ගෙවන්න ලෑස්තියි-” අමුත්තා කියන්නට ගත් නමුත් මේ වෙද්දී මහලු මිනිසා විවිධ අවතාර හෙවත් දේව මූර්ති කතන්දරවල මායාවට වශී වී සිටි බැවින් ඒ ප්‍රකාශයට බාධා විය.

“විෂ්ණු දෙවියෝ තමයි දෙවියන් අතරින් උසස්ම- එහෙම තමයි අපේ කෝවිලේ පණ්ඩිත් ගුරු නිතරම කියන්නේ. මීට කලින් මේ ලෝකේ නපුරු මිනිස්සු බලවත් වුණු නව වතාවකදී විෂ්ණු දෙවියෝ පෙනී ඉඳලා තියෙනවා.”

“මම ලොකු පෝසතෙක් නම් නෙමෙයි..”

“පළවෙනි අවතාරය මාලුවෙක් ගේ වෙස් අරන් ආවේ,” මහලු මිනිසා කීවේය. ඉනික්බිති ඔහු විෂ්ණු දෙවියන්ගේ මත්ස්‍ය වේශය ගැනත් ඔහු විසින් ශුද්ධ ලියවිලි මූදුබත් වීමෙන් බේරාගත් අයුරුත් පැහැදිලි කළේය. මේ පළමු අවස්ථාව විස්තර කළ පසු විෂ්ණු දෙවියන්ගේ ඊළඟ මූර්ති- එනම් ඉබ්බෙකු, වල් ඌරෙකු ආදිය ගැන විස්තර කීම නොවැළක්විය හැකි විය. 

“මේක ප්‍රවාහනය තමයි මගේ ලොකුම ගැටලුව වෙන්නේ, හැබයි මම ඒ ගැන පස්සේ වද වෙන්නම්. මට කියන්න, ඔබ මේ අශ්වයා වෙනුවෙන් විතරක් රුපියක් සීයක් භාරගන්න කැමතිද? ඇත්තම කියනවා නම් මම මේ උඩුරැවුල්කාර සොල්දාදුවාටත් කැමතියි, හැබැයි මේ වතාවේ එයාව ගෙනියන්න ඉඩ නැහැ, ඒකට ලබන අවුරුද්දේ එන්න වෙනවා.” 

“විෂ්ණු දෙවියෝ තමයි හැම වතාවෙම විපත් වලින් මිනිස් සංහතිය බේරා ගන්නේ. එක වතාවක් උන් වහන්සේ රාමා හැටියට ඉපදුනා. ලෝකෙම හොල්ලපු, ඔලු දහයක් තියෙන රාවණා ව විනාශ කරන්න පුළුවන් වුණේ එයාට විතරයි. මේ මහත්තයා රාමායනය ගැන දන්නවාද?”

“මගේ ස්ටේෂන් වැගන් එක තියෙනවානේ. මට ඔබ මට පොඩි උදව්වක් දුන්නොත් මට පුළුවන් සීට් එක පහත් කරලා අශ්වයා ව දාගන්න.”

“මහත්තයා මහා භාරතය දන්නවාද? ක්‍රිෂ්ණා තමයි විෂ්ණු ගේ අට වෙනි අවතාරය. ඒ වතාවේ විෂ්ණු, සහෝදරයෝ පස් දෙනෙකුට තමන්ගේ රාජධානිය බේරාගන්න උදවු කළා. ක්‍රිෂ්ණා පුංචි බබෙක් කාලේ නයි පෙන දාහක් තියෙන විශාල නාගයෙක් ගේ ඇඟ උඩ නටලා, ඌව පාගලා මරලා දැම්මා ලු.”

මේ වෙද්දී දෙදෙනා, අනෙකා පවසන දේ නොතේරීම නිසා උපරිම ලෙස එකිනෙකාව ව්‍යාකුල කරවා තිබිණි. මහලු මිනිසා කතාබහක අන්‍යොන්‍ය බව සමබර කිරීම සඳහා තමන්ගේ වාරයේදී නොකඩවා යම් යම් දේ කියවමින් සිටියේය. අමුත්තාගේ සිත දිනාගැනීමේ අදහසින් ඔහු මෙසේ කීවේය. 

“මේ උතුම් මහත්තයාට දෙවියෝ දරු මුණුබුරෝ රාශියක් තෑගි කරලා ඇති කියලා මම හිතනවා. මම එහෙම කියන්නේ මම වගේ වයසක මනුස්සයෙක් ළඟ ඉඳන් මෙහෙම කතාකරන්න මේ මහත්තයා හොඳ කෙනෙක් වෙන්න ඕන නිසා. වෙනදාට නම් මේ පාරේ යන කෙනෙක් දුම්කොළ කෑල්ලක් ඉල්ලන්න මාත් එක්ක කතා කළොත් මිසක් මට කතාකරන්න වෙන කිසි කෙනෙක් නැහැ. ඔබතුමාට ළමයි කීයක් ඉන්නවාද?”

“මහන්සි නොවී කිසි දෙයක් ලබාගන්න බැහැ” අමුත්තා තමන්ට කියා ගත්තේය. 

“එහෙනම් ඔබ මේකට රුපියල් සීයක් භාරගන්න කැමතිද?” ඔහු මහලු මිනිසාගෙන් විමසූ අතර මීට පිළිතුරු ලෙස තවත් ප්‍රශ්න රැසක් ලැබිණි. 

“මහත්තයා ට දූලා කීයද, පුත්තු කීයද? එයාලා කොහේද ඉන්නේ? දූලා බැඳලා ද? ඒ රටෙත් ගැලපෙන බෑණාලා හොයාගන්න අමාරුද?”

අමුත්තා තම සාක්කුවට අත දමා පසුම්බිය පිටතට ගෙන ඉන් රුපියල් සියයේ නෝට්ටුවක් එළියට ගත්තේය. මෙය දැක තම කතාබහ යම්කිසි මුල්‍යමය පරිච්ඡේදයකට පිළිපන් බව මහලු මිනිසාට වැටහිණි. ඔහු ඒ දෙස පරීක්ෂාවෙන් බලන්නට විය. රුපියල් පහේ, දහයේ නෝට්ටු වල පැහැයන් ඔහු හොඳින් දැන සිටියේ ඒවා අනුන් අත දැක තිබුණු බැවිනි. මේ නෝට්ටුව නම් ඔහු ජීවිතයේ කිසි දිනක දැක නොතිබුණේ ඔහුගේ ඉපයුම තඹ සහ නිකල් කාසි වලට සීමා වූ බැවිනි. මේ අමුත්තා නෝට්ටුවක් දිග හැර පෙන්වන්නේ කුමකටද? සමහරවිට ඔහුට මේ නෝට්ටුව මාරු කරගැනීමට උවමනා වී තිබෙනවා විය හැක. විශාල අගයකින් යුත් මුදල් නෝට්ටුවක් ගෙන හැර පා කිසිවෙකු තමන් වෙතින් මාරු සල්ලි ඉල්ලීම ගැන ඔහුට සිනා පහල විය. 

“මාරු සල්ලි උවමනා නම් ගම්මුලාදෑනියාගෙන් ඉල්ලන්න වෙයි මහත්තයා. උන්දැ තමයි ගමේ උන්ට ණය දෙන්නේ. රුපියල් ලක්ෂයක් වුණත් රන් කාසි වලින් දෙයි ඉල්ලුවොත්. උන්දැගේ හිතේ කවුරුත් දන්නේ නැහැ කියලා, ඒත් උන්දැගේ පූජා කාමරේ බිම හෑරුවොත් වළලලා තියෙන වස්තු සම්භාරය දැක්කාම කලන්තේ හැදේවි. ඔය මිනිහා වැරහැලි ඇඳන් ඉන්නේ මිනිස්සුන්ව මුලා කරන්න.”

“මේ මදි නම් මට ගාන වැඩි කරන්න පුළුවන්.” අමුත්තා කීවේය. 

“මහත්තයාටම තමයි ගම්මුලාදෑනියා එක්ක කතාකරන්න වෙන්නේ, උන්දැට මාව පේන්න බැහැ. කවුරුහරි මිනිහාගේ වට්ටක්කා වැලක් ගෙඩි පිටින්ම හොරකම් කරලා. උන්දැගේ හිතේ ඒක කළේ මායි මගේ එළුවෝ දෙන්නායි කියලා. ඔන්න ඕක හින්දා තමයි මම ඔය ගොවිපොළවල් පැත්තට වත් මගේ එළුවෝ යවන්නේ නැත්තේ,” මහලු මිනිසා එසේ කීවේ ගල් කුළු අතරේ ඇති කුඩා ළදළු පවා කන්නට උත්සාහ කරමින් සිටි තම එළුවන් දෙස බලමිනි. 

අමුත්තා ද ඒ දෙස බැලූ අතර මහලු මිනිසාගේ සුරතලුන් වෙත ආදරය පෑම මේ අවස්ථාවට ගැලපෙන කාර්යයක් බව සිතුවේය. ඔහු උන් වෙත ගොස් සෙමෙන් උන්ගේ සිරුරු පිරිමැද්දේ ය. 

මහලු මිනිසාට සිදුවෙමින් තිබුණු දේ වැටහුණේ එවිටයි. ඔහු ජීවිත කාලයක් පුරා දුටු සිහිනයක් සැබෑ වෙමින් තිබිණි. මේ රතු මුහුණෙන් යුත් ආගන්තුකයා ඔහුගේ එළුවන් මිළට ගැනීමට ඉල්ලමිනි. ඔහු මේ එළුවන් උස් මහත් කළේ කෙදිනක හෝ උන් ව විකුණා මෙතැනම කඩයක් විවෘත කරන අරමුණ ඇතිවය. පොල් අතු සෙවිල්ලූ වහලක් යට ගෝනියක් අතුරා බදින ලද කජු, විවිධ පැහැයෙන් යුත් රසකැවිලි සහ මාවත ඔස්සේ පැමිණෙන මගීන්ගේ පවස නිවීමට කුරුම්බා විකිණීමට ඔහු සිහින මැව්වේය. මේ සඳහා ඔහුට රුපියල් විස්සක ප්‍රාග්ධනයක් අවශ්‍ය වූ අතර මඳක් පෙරැත්ත කිරීමෙන් අගන්තුකයාගෙන් ඒ මුදල ලබාගත හැකි බවට ඔහු කල්පනා කළේය. මේ සතුන් දෙදෙනා සත්ත්ව ප්‍රදර්ශනයක සම්මාන ලැබීමට තරම් සුවිශේෂී නොවුණත් ඉඳ හිට උන්ට පෝෂ්‍යදායී ආහාර ලබාගැනීමට ඔහු වියදම් කර තිබුණු නිසා උන් හොඳ පෙනුමකින් යුතු විය. 

“මේ සල්ලි ඔක්කොම ඔබට, කැමති නම් ඔබේ සගයෙක් එක්ක බෙදා ගත්තත් ප්‍රශ්නයක් නැහැ,” මෙසේ කියමින් ආගන්තුකයා මහලු මිනිසාගේ අත රුපියල් එකසිය විස්සක් තැබුවේය. 

මහල්ලා මෝටර් රථය වෙත අත දිගුකර ප්‍රශ්නාර්ථ බැල්මක් හෙලුවේය. 

“ඔව් ඔව්, හරියට හරි” අනෙකා පිළිතුරු දුන්නේය. 

“හැබැයි මේක එළුවෝ දෙන්නා කාර් එකක යන පළවෙනි වතාව. එහෙනම් මම මෙතැනින් ගියාට පස්සේ උන් දෙන්නාව වාහනේට දාගන්න. නැත්නම් උන් කවදාවත් මහත්තයාගේ පස්සෙන් නම් එන එකක් නැහැ. මම පරලෝකෙට ගියත් උන් දෙන්නා මගේ පස්සේ තමයි!”  තමන්ගේම විහිලුවට සිනාසුණු ඔහු ඉනික්බිති දෑත් එක් කර අමුත්තාට ආචාර කර අනෙත් පස හැරී පඳුරක් අතරින් රිංගා නොපෙනී ගියේය. 

නිදහසේ උලාකමින් සිටි එළුවන් දෙස බැලූ අමුත්තා අශ්ව පිළිමයේ පාදම වෙත ගියේය. බැස යන හිරුගේ එළියෙන් පිළිමයේ අව පැහැ ගැන්වුණු වර්ණයන් අමුතු අලංකාරයකින් දිස් විය. 

“වයසක මනුස්සයා උදව්වට කවුරු හරි අඬගහගෙන එන්න යන්න ඇත්තේ” මෙසේ සිතූ ඔහු ඔවුන් එනතුරු බලා සිටීමට හරි බරි ගැසී හිඳ ගත්තේය. 






Nissanka Rajapaksa

unread,
Dec 27, 2025, 2:12:10 AM12/27/25
to INDRAKA group
50
පැක්ල්ටයිඩ් මහත්මියගේ කොටියා

Translation of the short story ‘Mrs Packletide’s Tiger’ by Saki 
සිසිල සඟරාව - ජුනි 2025 කලාපය 

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 

පැක්ල්ටයිඩ් මහත්මියට කොටියෙකු මැරීමට නොතිත් ආශාවක් තිබිණි. මේ ආශාව හදිසියේ ඇතිවූවක් නම් නොවේ. එමෙන්ම ඉන්දියාවේ ජන සංඛ්‍යාවෙන් මිලියනයකට එහි සිටින රුදු සතුන් ගණන අඩු කර ඈ එහි පැමිණෙද්දීට වඩා ඉන් පිටවෙද්දී එහි සුරක්ෂිත බව වැඩි කර තබා යන්නට ඇයට අවශ්‍යතාවයක් තිබුණේ ද නැත. මේ අමුතු ආශාවට හේතු වූයේ ලූනා බිම්බර්ටන් මෑත දිනයක ඇල්ජීරියානු ගුවන් නියමුවෙකු සමඟ හැතැප්ම එකොළහක් ගුවන් යානයක ගමන් කර තිබීමත්, නොනවත්වාම ඒ ගැන විස්තර කීමත් ය. මෙවැනි උදම් ඇනීමක් යටපත් කළ හැකි වූයේ තමන්ම කොටියෙකු වෙඩි තැබීම, ඒ ගැන පුවත්පත්වල ඡායාරූප පල වීම සහ කොටි හමෙන් පලසක් ලබා ගැනීම වැනි කාරණා වලින් පමණක් බව පැක්ල්ටයිඩ් මහත්මිය දැන සිටියාය. තම කර්සන් වීදියේ නිවසේ ලූනා බිම්බර්ටන් වෙනුවෙන් භෝජන සංග්‍රහයක් සූදානම් කරන අයුරුත්, එදින එහි සභාවේ කතාබහ කෙරෙද්දී බිම කොටි හම් පලස අතුරා තිබෙන අයුරුත් මේ වෙද්දී පැක්ල්ටයිඩ් මහත්මිය සිතෙන් මවාගෙන අවසන් ව තිබිණි. මීට අමතරව කොටියාගේ නිය පහුරින් හාරිච්චියක් නිර්මාණය කිරීමට මෝස්තරයක් ඈ දැනටමත් සිතා තිබුණු අතර එය ලූනා බිම්බර්ටන්ගේ ඊළඟ උපන්දිනයට තෑගි දීම ඇගේ අදහස විය. සාමාන්‍යයෙන් ලෝකයේ සිදුවීම් තීරණය වූයේ කුසගින්නත්, ප්‍රේමයත් මත වූවත් පැක්ල්ටයිඩ් මහත්මියගේ ලෝකයේ නම් ඇගේ ක්‍රියාවන් සහ අරමුණු මූලික වශයෙන් තීරණය වූයේ ලූනා බිම්බර්ටන් වෙත ඇගේ තිබුණු නොකැමැත්ත මතයි. 
.
පැක්ල්ටයිඩ් මහත්මියට වාසි වන අයුරින් සියලු දේ පෙළගැස්වෙන්නට විය. වැඩි මහන්සියක් හෝ අවදානමක් රහිතව කොටියෙකු වෙඩි තැබීමේ අවස්ථාව වෙනුවෙන් ඈ රුපියල් දහසක මුදලක් ගෙවීමට කැමැත්ත පළ කර තිබිණි. වයස්ගත වීම නිසා ඇතිවූ දුර්වලකම් හේතුකොටගෙන වන සතුන් දඩයම් කිරීම නවතා අවට ගම්මානවල නිවෙස්හි ඇතිකරන සතුන් දඩයම් කිරීමට තෝරාගෙන තිබුණු කොටියෙකු ගැන ආරංචියක් ලැබුණේ මේ වකවානුවේදී ය. රුපියල් දහසක් ලැබීමේ පොරොන්දුව නිසා ඒ ගම්වැසියන්ගේ වාණිජමය සහ ක්‍රීඩාකාරී සහජාශය පිබිදී තිබිණි. මේ නිසා ඔවුන් දිවා රෑ නොබලා වනයේ මායිම් හි ගැමි දරුවන් රැඳවූයේ කොටියා තම ගොදුරු බිමින් ඈතට යාම වැළක්වීමටයි. මීට අමතරව මිළෙන් අඩු එළුවන් නොපරීක්ෂාකාරී ලෙසින් තැන තැන රඳවා තිබුණේ කොටියා ව තවදුරටත් ගම්මානය වෙතට ආකර්ෂණය කර ගැනීමේ අදහසිනි. නගරයේ නෝනා ගේ කොටි දඩයම් දිනයට පෙර වයෝවෘද්ධ බව නිසාම කොටියා මිය යයිද යන්න ගම්වැසියන්ගේ එකම ගැටලුව විය. ගැමි ගැහැනුන් කුඹුරු වැඩ කිරීමෙන් පසු කැලය මැද්දෙන් තම බිළිඳුන් වඩාගෙන ගමන් කරද්දී ගී ගැයීම නැවත්වූයේ ගරු කටයුතු ගව පට්ටි පහරන්නාගේ නින්ද කැඩේවි යන බියෙනි. 
.
අන්තිමේදී වැදගත් දවස උදා විය. එය සඳ එළිය දිලිසුණු, වළාකුළු රහිත දිනයක් විය. ගසක් මත තැනූ වේදිකාවක පැක්ල්ටයිඩ් මහත්මියත් ඇගේ පඩි ලබන සේවිකාවක් වන මෙබින් මෙනෙවියත් උක්කුටිකව වාඩි වී සිටියෝය. නියමිත දුරකින් වූ ගසක බැඳ තිබුණු එළුවා උපතින්ම තියුණු හඬක් හිමි වූ එකෙකු වූ අතර උගේ හඬ නිහඬ රාත්‍රියක තරමක් බිහිරි කොටියෙකුට වුව ඇහෙන මට්ටමේ විය. දඩයම් ක්‍රීඩාවේ යෙදෙන්නිය රයිෆලයක් සහ කාලය ගත කිරීමට කාඩ් කුට්ටමක් අතැතිව දඩයම පැමිණෙන තුරු බලා සිටියාය. 
.
“අපිට මොකක් හරි අනතුරක් වෙන්න පුලුවන්ද?” මෙබින් මෙනෙවිය විමසුවාය.
.
ඇත්ත වශයෙන්ම ඈ තුළ වන සත්ත්වයා ගැන බියක් නොතිබුණු අතර ඇයට මාරාන්තික බියක් තිබුණේ තමන්ට ගෙවන ලද ගාස්තුවට වඩා ක්ෂුද්‍ර හෝ සේවාවක් සැපයීම ගැනයි. 
.
“පිස්සුද?” පැක්ල්ටයිඩ් මහත්මිය පිළිතුරු දුන්නාය. “මේ හොඳටම වයසක කොටියෙක්. ඌට උවමනා උනත් මේ තරම් උසකට පැනගන්න බැරිවෙයි.”
.
“කොටියා වයසයි නම් ඔයිට ලාබෙට ඔය වැඩේ කරගන්න තිබුණා කියලා මට හිතෙනවා. රුපියල් දාහක් කියන්නේ ලොකු ගාණක්නේ.”
.
කවර රටක කොයි වර්ගයක මුදලක් ගැනත් ලුවීසා මෙබින් දැක්වූයේ පරීක්ෂාකාරී ආකල්පයකි. ඇගේ උනන්දු සහගත මැදිහත් වීම නිසා මොස්කව් නගරයේ හෝටල් වලදී සන්තෝසම් ලෙස රූබල් අතුරුදන් වීම වැළකුණු අතර, ප්‍රංශයේදී අනුකම්පා විරහිත ඩැහැගැනීම් වලින් බේරෙන්නට ෆ්‍රෑන්ක් නෝට්ටු ඇගේ අතේ එල්ලිණි. කොටියා වෙනුවෙන් ගෙවිය යුතු වෙළඳපොල මිල ගැන ඇගේ ගණනය කිරීම් හදිසියේ නැවතුණේ අදාළ සත්ත්වයා හදිසියේම පෙනී සිටි බැවිනි. ගැට ගසා තිබුණු එළුවා දුටු සැණින් කොටියා බිමට පහත් වනු පෙනිණි. ඌ මෙසේ කළේ මුවා වීමේ අරමුණකට වඩා කඩා පනින්නට පෙර විවේකයක් ගැනීමේ අරමුණින සේ විය.
.
“මම හිතන්නේ ඌ අසනීපෙන්’ ලුවීසා මෙබින් හින්දි බසින් හඬ නඟා කීවේ යාබද ගසක උන් ගම්මුලාදෑනියාට ඇසෙන්නයි. 
.
“ෂ් ෂ් ..” පැක්ල්ටයිඩ් මහත්මිය කීවාය. මේ මොහොතේ ම කොටියා හෙමි හෙමින් ගොදුර වෙත කිට්ටු වන්නට විය. 
.
“දැන්!.. දැන්!” මෙබින් මහත්මිය උද්යෝගයෙන් කෑ ගැසුවාය. “කොටියා එළුවාගේ ඇඟට පැනලා නැත්නම් අපි එළුවා වෙනුවෙන් ගෙවන්න ඕන නැහැ.” (ඇම සඳහා අයකිරීම වෙනම සිදුවිය.)
.
රයිෆලය මහා හඬක් නඟමින් පත්තු වූ අතර කොටියා පසෙකට පැන මරණයේ නිසොල්මන් බව පාමින් බිම වැතිරුණි. මොහොතින් උද්යෝගිමත් ගම් වැසියන් එහි රොක් වූ අතර ඔවුන්ගේ කෑ ගැසීම් වලින් මේ සතුටු ආරංචිය ගම්මානයට සැළ වී, එහි බෙර හඬ නැඟෙන්නත්, ප්‍රීති ඝෝෂා ඇසෙන්නත් විය. කර්සන් වීදියේ නිවසේ සැලසුම් කළ සාදය සැබෑ වෙමින් තිබුණු නිසා මේ ජය හඬ පැක්ල්ටයිඩ් මහත්මියගේ සිත තුළ ද දෝංකාර දෙන්නට විය. 
.
එළුවා වෙඩිල්ලක් වැදීම නිසා මාරාන්තික තුවාල ලබා සිටි බව මුලින්ම දුටුවේ ලුවීසා මෙබින් ය. කොටියාගේ සිරුරේ රයිෆලය සිදු කළ කිසිම හපන්කමක් දක්නට තිබුණේ නැත. වෙඩිල්ල වැදී තිබුණේ වැරදි සතාට බවත්, වයස්ගත කොටියා මිය ගියේ වෙඩි හඬ නිසා ඇතිවූ හෘදයාබධයකින් බවත් අවසානයේදී නිගමනය විය. මේ සොයාගැනීමෙන් පැක්ල්ටයිඩ් මහත්මියට යම් නොරිස්සීමක් ඇති වූවද ඈ මියගිය කොටියාගේ අයිතිකාරිය නිසාත්, රුපියල් දහස ලබාගැනීමට ගම්වැසියන් විශාල උනන්දුවක් දැක්වූ නිසාත්, ඈ විසින් කොටියා ව වෙඩි තබා මරණ ලද බව ප්‍රසිද්ධ කරන්නට එකඟතාවයක් ඇති විය. මෙබින් මෙනවිය වැටුප් ලබන සේවිකාවක් පමණක් වූ බැවින් ඈ ගැන වධ වීමක් සිදු වූයේ නැත. අවසානයේදී පැක්ල්ටයිඩ් මහත්මිය ප්‍රීතිමත් මුහුණින් කැමරාවට මුහුණ දුන් අතර ඇගේ සේයාරූ ටෙක්සාස් සිට රුසියාව දක්වා පරාසයක පුවත්පත්වල පළ විය. ලූනා බිම්බර්ටන් නම් දෙසතියක්ම ගත වන තුරු පුවත් පතක් දෙස බැලීම පවා ප්‍රතික්ෂේප කළ අතර කොටියාගේ නිය පහුරින් තැනූ හාරිච්චිය තෑගි ලැබූ විට ඊට ස්තූති කර පිළිතුරු යැව්වේ මැඩගත් ආවේගයෙනි. 
.
කොටි හමෙන් තැනු පලස කර්සන් වීදියේ නිවසේ සිට පළාතේ ප්‍රභූ මන්දිරය වෙත ගමන් කර ප්‍රභූවරුන් ගේ ප්‍රශංසාවට ලක් විය. මේ නිසා මන්දිරයේ පැවැත්වූ බාල් නැටුම වෙනුවෙන් පැක්ල්ටයිඩ් මහත්මිය දඩයමට අධිපති ඩයනා දෙවඟන ලෙස සැරසී යාම ඉතා ගැලපෙන බව පිළිගැනිණි. ඇගේ මිතුරෙකු වන ක්ලොවිස් යෝජනා කළ ලෙස ඔවුන්ගේ මිතුරු කණ්ඩායමේ හැම කෙනෙකුම තමන් මෑතක දඩයම් කළ සතෙකුගේ ලොමින් සෑදුණු ඇඳුමක් ඇඳගෙන බාල් නැටුමට යාම නම් ඈ ප්‍රතික්ෂේප කළා ය. 
.
“එහෙම කළොත් හැබැයි මට නම් අත දරුවෙක් වගේ තමයි ඇඳගෙන යන්න වෙන්නේ,” ක්ලොවිස් පාපොච්චාරණය කළේය. “මොකද මට අඳින්න වෙන්නේ ළඟදී දඩයම් කළ හාවෙක්ගේ දෙන්නෙක්ගේ ලොමින් හැදුව පොඩි ඇඳුමක්.”
.
“ඇත්තටම සිද්ධ වුණු දේ දැනගත්තොත් නම් හැමෝම හරි විනෝදයට පත් වේවි නේද?” බාල් නැටුමට දින කීපයකට පසු ලුවීසා මෙබින් කීවාය.
.
“ඒ කියන්නේ මොකක්ද?” පැක්ල්ටයිඩ් මහත්මිය ඉක්මණින් ඇසුවාය.
.
“නෑ ඉතින්, ඔයා එළුවා ට වෙඩි තියලා ඒකට බය වෙලා කොටියා මළා කියලා,” මෙබින් මෙනවිය කීවේ ප්‍රසන්න සිනාවකිනි.
.
“දැනගත්තත් කවුරුවත් විශ්වාස කරන එකක් නැහැ.” පැක්ල්ටයිඩ් මහත්මිය කියද්දී ඇගේ මුහුණේ පැහැය වෙනස් විය.
.
“ලූනා බිම්බර්ටන් නම් විශ්වාස කරයි,” මෙබින් මෙනවිය කීවාය.
.
එය අසා පැක්ල්ටයිඩ් මහත්මියගේ මුව කොළ පැහැය මුසු සුදුමැලි පාටක් විය. 
.
“ඔයා මගේ රහස එළි කරන්නේ නැහැනේ?” ඈ ඇසුවාය.
.
“ඩොර්කින්ග් කිට්ටුව මම සල්ලිවලට ගන්න කැමත්තක් තියෙන පොඩි බංගලාවක් තියෙනවා,” මාතෘකාවට අදාළ නැතිව මෙබින් මෙනවිය කියවාගෙන ගියාය. “හයසිය පනහක් දුන්නාම නිරවුල් අයිතිය ලැබෙනවා, සෑහෙන්න ලාබයි. එකම ප්‍රශ්නේ මගේ අතේ සල්ලි නැති එක.” 

----------------------

ලුවිසා මෙබින් ගේ අලංකාර බංගලාවට ඈ දුන් නම ‘වන සත්ත්ව පියස’යි. ගිම්හාන කාලයේදී එහි ගෙඋයනේ ටයිගර්-ලිලී මල් පිපී අලංකාර ව දිස් වෙද්දී ඊට ඇගේ මිතුරු මිතුරියන්ගේ විශ්මය ත් ප්‍රශංසාවත් හිමිවිය. 
.
“ලුවීසා කොහොම මේවා කරගන්නවාද මන්දා,” පොදු මතය එය විය. 
.
පැක්ල්ටයිඩ් මහත්මිය නම් නැවත සත්ත්ව දඩයමේ ගියේ නැත. 
.
“ඒකට යන අමතර වියදම් වැඩියි,” ඒ ගැන විමසන මිතුරියන්ට ඈ පිළිතුරු දුන්නාය.


Reply all
Reply to author
Forward
0 new messages