කෙටි කතාව 8

31 views
Skip to first unread message

Nissanka Rajapaksa

unread,
Jul 10, 2024, 7:51:31 PM7/10/24
to INDRAKA group
1
රැඩිකල් ලේලියක ගේ සති අන්තය......

- Manjula Senaratne

අද දවස මගේ ජිවිතයේ ප්‍රීතිමත් ම දිනයයි. තවත් අයුරකින් කියන්නේ නම් අද මගේ නැන්දම්මා මිය ගිය දිනයයි.

නැන්දම්මා මිය ගිය දවස තම ජිවිතයේ ප්‍රීතිමත්ම දවස කර ගන්නා ලේලියන් මෙලොව ඇත්දැයි මම නොදනිමි. එහෙත් නැන්දම්මාව පිළිකුල් කරන නැන්දම්මාට වෛර කරන "ඕකිට හෙන හතම වැදියන්" කියා ආශිර්වාද කරන ලේලිලා නම් කොතෙකුත් සිටින්නට පුළුවන. මගේ නැන්දම්මා මෙලොව ජීවත් වන කෘරතම ගැහැනිය යැයි මට සිතේ. ඇගේ අමනුස්ස කම් වල සීමාවන් සොයන්නට කළෙක මම උත්සාහ දැරුවෙමි. ඇගේ දුෂ්ඨකම නමැති පාපයේ බර කිරා බලන්නට මම වෙහෙස උනෙමි. කෙසේ වුවද ඇගේ මේ අඥාන කෘර බව ඇයට හිමිව ඇත්තේ හුදෙක්ම තමන්ගේ එකම පුතුට, එනම් මගේ සැමියා නාරද කෙරෙහි දක්වන අසීමිත ආදර සෙනෙහස නිසා බව පැහැදිලිය. 
මම පරිපුර්ණ ගැහැනියක් නොවෙමි. එහෙත් බිරිඳක්, ගෘහනියක් හුදෙක්ම පැහැදිළි, සමබර මානසිකත්වයකින් යුත් ගැහැනියක් ලෙසින් කිසිදු විටක දෙවැනි තැනට නොවැටෙන්නට මම උත්සාහ කළෙමි. මගේ දෙමාපියන්, මා වටා සිටියෝ, විශේෂයෙන් ජීවිතය නැමැති සංකල්පය විසින් කියා දෙනු ලැබූ පාඩම් මැනවින් බුද්ධියට ඇතුළු කර ගෙන යහපත්, ගුණවත් ආදරබර ලේලියක් වන්නට මම උත්සාහ කලෙමි. එහෙත් ඇය මගේ ජීවිතය වෙනතක පෙරළුවාය. මගේ විවාහ දිවිය වසාගෙන පැන නැගුණු ඝන අඳුරු වැහි වළාවක් වැනිය ඇය. මගේ මනස වසා ගෙන පැතිර ගිය දරුණු පිලිකාවකි ඇය. මගේ ආත්මය නැමති කිරි වීදුරුවට වැටුණු ගොම බිදුවයි ඇය. ඇයට තවත් නමකි නැන්දම්මා යන්න. 
ඒ අතීත කතාව හැකි කෙටියෙන් මෙසේ කියමි.
වසර පහක් පුරා මගේ ප්‍රේමවන්තයා වූ ගන්ධබ්බයා (උගේ නමක් වත් ලියන්නට මට නොසිතේ) මගේ හොඳම මිතුරිය සමග විවාහ වුණු මොහොතේ පිරිමින් කෙරෙහි තිබූ සියළු විශ්වාසයන් සිතෙන් ඈත් කළෙමි. දින කීපයක් පුරා සිතින් මෙන් ගතින්ද විරහවේ පතුලට ගිලා බැස සිටි මම එක මොහොතක සිහිඑලවා ගතිමි. මුළු මහත් පිරිමි සංහතියෙන්ම පළි ගැනීමට මට උවමනා උනත් එය සපුරා ගත නොහැකි කාර්යකි. රූපයෙන්ද, බුද්ධියෙන් ද , රැකියාවකින් අනූන වූ මගේ විශ්වාසය වූයේ පිරිමි සංහතිය අමතක කර එක් පිරිමියෙක් ගෙන් පමණක් පළිගත යුතු බවයි. එනම් විවාහයක් කර ගත යුතු බවයි. මේ අනුව . රූපය, ධනය, බලය, කුලය, රට, ජාතිය, ආගම කුමක් හෝ වේවා විවාහ යෝජනාවක් ගෙන එන මුල්ම පිරිමියා සමග ජීවිතය යළි පටන් ගන්නට මම තීරණය කලෙමි. තවත් අයුරකින් කියන්නේ නම් First come first served පදනමේ සිට ක්‍රියා කිරීමයි.    

වසර 18 ක් සිට පැරිසියේ වාසය කරමින්, එහි නමගත් අවන්හලක ප්‍රධාන කෝකියා වශයෙන් සේවය කරන නාරද කල්පගේ පවුලේ එකම පිරිමි දරුවාය. කෙසේ සිදු වුණා දැයි නොදන්නා මුත් එක් සෙනසුරාදා දිනයක ඔහු තම මෑණියන් සමග (ඇය සිනහවෙන් සිටියේ එදා පමණි) මා බලන්නට පැමිණියේය. ඔහු පෙනුමෙන් නරක නොවූ සාමාන්‍ය මිනිසෙකි. අතීතයේ කටුක මතකයන්ගෙන් සහ බිඳීගිය ප්‍රේම පුරාණයේ නටබුන් වලට සමු දී රටින් පිටවෙන්නට තිබූ දැඩි උවමනාව නිසා මම මේ නාඳුනන මිනිසාට කැමැත්ත දුනිමි. අපි අතර පුංචි කතාබහ දුරකතනයෙන් ඇතිවිය. ඒවා පැය ගණනේ සංවාද බවට පත්විය. ඔහු පැරිසියේ තම නවාතැනේ පහසු හාන්සි පුටුවේ දිග ඇදී SKYPE ජාලයෙන් මා සමග ජීවිතය බෙදා ගත්තේය. මාස තුනක පමණ කාලයකට පසු මේ මිනිසා ගැන ආදර හැගීමක් මසිතේ ඇති වෙමින් තිබෙනා බව මට හැගුණි. ඔහු දයාබර හැඟීම් ඇත්තෙකි. පසන් හැසිරීම්, ගතිගුණ ඇත්තෙකි. එහෙත් අදහා ගත නොහැකි විෂම කරුණක් නිල මැස්සෙකු මෙන් ඔහු වටා කැරකෙන බව මට වැටහුණි. එනම් අපේ සෑම කතා බහක්දීම ඔහු උවමනාවටත් වඩා තම මව ගැන වර්ණනා කිරීමයි. මම අද මෙහෙම දෙපයින් නැගිටලා ඉන්නේ අම්මා හින්දා...... යන වදන් වැල නිරන්තරයෙන්ම ඔහුගෙන් පිට විය. අනාගතයේදී සිදු වන්නට යන විපතක් ගැන පෙර දැනීමක් ඒ මොහොතේ මට නොවිණ. එමෙන්ම යළි ආපස්සට හැරී මගුල ප්‍රතික්ෂේප කිරීමටද මට හයියක් නොවිණ.
විවාහයෙන් පසුව සිව් මසක කාලයක් නාරද ගේ මහ ගෙදර නතර වී සිටින්නට (ප්‍රංශය බලා පිටව යන්නට පෙර ) අපිට සිදුවිය. එය වනාහි මගේ ජිවිතයේ මූසලතම, කටුකතම කාලය යැයි කීම වැරදි නොවේ. මේ කාලයේදී නැන්දම්මා මා කෙරෙහි දැක්වූ කෘරත්වය ලියා දක්වන්නේ නම් ජාතක පන්සිය පනහක් නොව දෙදහස් පන්සියයක් උවමනා වනු නියතය. ඇයට, හුදෙක්ම මා වනාහී තමාගේ ආදරණිය පුතුව තමන්ගෙන් වෙන් කරගෙන යන්නන්ට පැමිණි යක්ෂනියකි. දන්නා සෑම අයුරකින්ම, හැකි සෑම අවස්ථාවකදීම නිසි ක්‍රියා පටිපාටි අනුගමනය කරමින් ඇය මට මානසික අඩම්තේට්ටම් කළාය. ඇගේ දෙනෙත් හමුවේ මා නිකමෙකි. කිසිවක් නොදන්නා බබෙකි. කොල්ලෝ සිය ගණනක් ඇසුරු කර අවසානයේ තම රත්තරන් පුතුව ඩැහැ ගත් හැතිරියකි. මා ස්නානය කරද්දී ඇය වතුර කපා දැම්මාය. මහ වැසි මැද ගමනක් යන්නට සැරසෙද්දී ඇය කුඩය සැගවූවාය. නාරද වෙනුවෙන් කෑම පිසිනා විට, තම ජංගමයෙන් නිවසේ දුරකථනයට ඇමතුමක් දී, මා එයට පිළිතුරු දෙන්නට යන අතර සාදමින් සිටි ව්‍යංජනයට ලුණු අහුරක් හැලුවාය. ලෝකයේ මෙතෙක් බිහිව ඇති විද්‍යාත්මක, දේශපාලනික, ආර්ථික, සාමාජිය න්‍යායයන්, සිද්ධාන්ත තේරුම් ගන්නට අපිට හැකියාව ඇති නමුදු කිසිදු පදනමක් රහිතව ලේලියක් කෙරෙහි නැන්දම්මා කෙනෙකුගේ සිතේ ඇතිවන වෛරය තේරුම් ගත නොහැකිය. කෙසේ හෝ වේවා සිව් මසක් නරකාදියේ ගෙවමින් පැරිසිය නම් සුරපුරයට පැමිණීම ගැන මම සිහින මැව්වෙමි. අන්තිමේදී මගේ ඉල්ලක්කය වුයේ පිරිමි සංහතියෙන් හෝ එක පිරිමියෙක් ගෙන් පළි ගැනීම නොවේ. මගේ නැන්දම්මාගෙන් පළි ගැනීමයි.
අපේ විවාහයට දිගු කාලීන පැවැත්මක් නොමැති බව මම ඉතා ඉක්මනින් තේරුම් ගතිමි. මට පැරිසියේදී හමු වූයේ මා සිහින මැවූ දේශය නොවේ. නාරද මුල් පෙළේ කෝකියෙක් නොව මුල් පෙලේ අත් උදව් කරුවෙකි. ඔහුගේ නිවස කුඩා තැනකි. එහි වූයේ අවම සැප පහසුකම්ය. නව නගරයට පැමිණ සති තුනක් යද්දී අනුන්ගේ දරුවෙක් බලා ගැනීමේ රැකියාවක් කරන්නට මට සිදු විය. අනෙක් අතට මගේ සැමියා බිරිඳට වඩා තමන් වටා සිටි මිතුරන් කීප දෙනාට වැඩි තැනක් දෙන, "පිරිමිකම" නැමැති ආත්ම වංචාවෙන් හිස පුරවා ගත් හිස් චරිතයක් බව මම තේරුම් ගතිමි. ජිවිතයට පොතක් කියවා නැති මගේ කාඩ්බෝඩ් බුද්ධිමතා මුදල් හම්බ කිරීම ගැනම සිතුවේය. හැම සතයක්ම ඉතිරි කරන්නට සිතුවේය. ඉතිරි කරනා හැම සතයක්ම මව්බිමේ ආයෝජනය සඳහා අම්මා අතට යැව්වේය. එහෙත් ඔහු මට ආදරය කළේය. එය හුදෙක්ම මතු පිටින් පෙනෙනා ආදරයකි. 

නාරද සතියේ දින තුනක් මවට කතා කෙළේය. මම දෙපයින් ඉන්නේ මගේ අම්මා නිසා යැයි නිතරම කිවේය. වයින් විදුරු දෙකකින් වෙරි වන ඔහු අම්මා මතක් වී හැඬුවේය. ඔහු නින්දේදී ගෙරෙව්වේය. මුත්‍රා කරනා විට වැසිකිලියේ හරි මැදටම එල්ල කර මහා දිය සීරාවක හඬක් නැගුවේය. කඩල මුං අට වැනි ධාන්‍ය වර්ග කෑමට ප්‍රිය කළ ඔහු රාත්‍රිය පුරාම අධෝවාත පිට කළේය. ගෙරවිලෙන් බේරෙන්නට කන් දෙකට අගුළු දැමු මම දුර්ගන්ධයෙන් බේරෙන්නට මුහුණු වැස්මක් ගතිමි. සිතේ නැගෙනා අප්‍රසාදයෙන් බේරෙන්නට කිසිදු විකල්පයක් තිබුණේ නැත. මේ මිනිසා සමග දරුවන් ලොවට දායාදා කිරීම මිනිස් සංහතියට මා කරනා අසාධාරණයක් බව තේරුම් ගත් මම නිදන්නට පෙර හොර රහසේ කුඩා පෙත්තක් ගිල දැමුවෙමි. 
අපේ විවාහයේ දෙවන වසර ගත වෙමින් තිබේ. මේ වසරේ නිවාඩුවට ලංකාවට යන්නට අකැමති බව මම නාදරට කිමි. ඔයාගේ අම්මගේ දුෂ්ඨ කම් මට උහුලන්න බැහැ ... මගේ පිළිතුරු පැහැදිලිය. සරළය. තේරුම් ගැනීමට පහසුය. කෙසේ හෝ වේවා මාර්තු මාසයේ දිනක උදෑසන ලංකාවෙන් පැමිණි ඇමතුම කියා සිටියේ මගේ නැන්දම්මා හෘදාබාදයක් වැළදී රෝහල් ගත කළ බවයි. සිතේ පිපි ගිය ප්‍රීතියේ මල් දහසේ කාන්තිය මුහුණින් නොපෙන්වන්නට මම දැඩි උත්සාහයක් දැරුවෙමි. පළමු පැයේදී නාරද මහා හඬින් හඬා වැටුණේය. දෙවැනි පැයේදී ඔහු ගුවන් ටිකට්ටුවක් මිලදී ගත්තේය. උදාවන සිව්වන පැයේදී මගේ නලලත සිප ගත් ඔහු ගුවන් තොටුපළ බලා පිටත්ව ගියේය. සවස් යාමයේ සුදු වයින් බෝතලයක් මිලදී ගත් මම පළමු වීදුරුව මුවට ගෙන නැන්දම්මාගේ මරණය පතා ප්‍රාර්ථනාවක් කලෙමි. ඇය නාරද මව්බිමට ලගා වන්නට පෙර පරලොව කැඳවා ගන්නැයි දෙවියන්ගෙන් ඉල්ලා සිටියෙමි. මගේ ලෝකයේ සැනසුම ඇත්තේ නැන්දම්මා නැති විටදීය. මෙලොව පාලන බලවේග වෙත්නම් මගේ අහිංසක යාඥාවේ බලයෙන් ඇය නිරයට නෙරපා (deport) හරින මෙන් අධිෂ්ඨාන පූජාවක නිරත වූයෙමි. වයින් බෝතලයේ අඩක් නිම වද්දී Gloria Gaynor ගේ I Will Survive ගීතයට සවන් දෙමින් කිසිවක් නොකා, දත කට නොමැද නින්දට ගියෙමි. 
එහෙත් මගේ එකදු ප්‍රාර්නාථවක් වත් ඉටු වූයේ නැත. නැන්දම්මා සුව ලැබුවාය.

සඳුදා නිවාඩු නිසා ජුනි මාසයේ මුල් සති අන්තය දිගු එකකි. නාරදගේ හොඳම (පණ්ඩිත) මිත්‍රයා වන අකිල (ගොනා) ගේ විවාහය ඉරිදාය. අකිල ගොනා ගේ අත (කකුල) ගන්නා මන්දිරා පැරිසියේදී මා හඳුනා ගත් හොඳ එළදෙනකි (මිතුරියකි). කළකට පසු FUN එකක් ගැනීමට මෙය කදිම අවස්ථාවක් යැයි සිතූ මම හොඳ සාරියක්, පාවහන්, සුවඳ විලවුන්, රූ අලංකාර කට්ටල මගේ මුදලින්ම මිලට ගෙන මගුලට සුදානම් උනෙමි. එහෙත් බලාපොරොත්තු නොවූ සිද්ධි මාලාවක් සිදුවුණු මේ සති අන්තය ජීවිතය ගැන මෙතෙක් මසිත වූ ආකල්ප බිඳ දැමුවා යැයි දැන් මට සිතේ. 
"මගේ මොබයිල් එක නැති උනා ...." සිකුරාදා රැකියාව නිම වී නිවසට පැමිණ දුක් මුහුණින් නාරද කිවේය. මගේ ඇමතුම් වලට පිළිතුරු නොදෙන, මිතුරන්ට පමණක් වෙන්වී ඇති ඒ මොබයිලයට හෙන ගැහුවත් මට කිසි රුදාවක් නොවේ. එසේ වුවද නැති උනේ කොහේදැයි මම ඇසුවෙමි.
"නැති වෙච්ච තැන දන්නවා නම් ඒක නැති වෙලා නැහැනේ. තැන දන්නවා නම් හොයා ගන්න පුළුවන්නේ..." ඔහු කිවේය. එය වනාහි මා මුල් වරට මගේ සැමියා ගෙන් ඇසූ තර්කානුකුල වදන් පෙළයි. "ok......" මම කීමි. 
"ඔයාට ගානක්වත් නැහැ..." ඔහු රණ්ඩුවක් ඇද ගන්නට මාන බලයි. මේ සති අන්තය කාලකන්ණි කර ගැනීමේ උවමනාවක් නැති නිසා මම ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කරන්නට සිතුවෙමි.
"ගානක් නැහැ නෙමෙයි නාරද..., හෙට නැත්නම් සඳුදට අලුත් එකක් ගන්න පුළුවන්නේ.. වටිනා ජිවිත නැති වෙන්නේ... ගීතා කුමාරසිංහ දික්කසාද උනේ .. ඕක මොකක්ද ..?"
"ඔයා නම් කියයි.. බැරි වෙලා අම්මා හෙම කතා කලොත්..." ඔහු කිවේය. රාත්‍රී අහාරය වෙනුවෙන් පිෂ්ඨ ධාතු රහිත, මේදය වැඩි අහරක් පිළියෙළ කලෙමි. වැඩි කතා බහක් අපි අතර සිදු නොවිණ. දුරකථනය නැති නිසා සන්තාප සිතෙන් විස්කි වීදුරු දෙකක් පානය කළ මගේ සැමියා නින්දට ගියේය. මම ද එසේ කළෙමි.
අළුයම පහයි තිහට මගේ දුරකථනය නාද විය. මේ අවේලාවේ ඇමතුමක් එන්නේ මව්බිමෙනි. මගේ දෙමාපියන් වෙතිනි. නාරද අවදි නොවන්නට දුරකතනය සමග සාලයට ගිය මම හලෝ යැයි කිමි. "දුවේ මේ නාගොඩ මාමා....." කට හඬ කීතවේය. නාගොඩ මාමා මගේ නැන්දම්මා ගේ එකම සොහොයුරාය. මා සමග කිසි දිනක වැඩි කතා බහක් නොපැවැත්වූ මේ භූතයා මෙසේ අමතන්නේ ඇයි..? "දුවේ.. අක්කා ආන්තරා උනා දුවේ.." ඔහු කිවේය. "අනේ මාමේ.. මේ මොකද උනේ...? අයියෝ.." යළිත් වරක් සිතේ පිපිණු මල් දහසේ සතුට කට හඬට ගොනු නොකර මම අපහසුවෙන් කීමි.
"ඊයේ රෑ දුවේ.... පපුව අල්ලාගෙන ඉඳ ගත්තා.. අපි ඉස්පිරිතාලේ ගෙනිච්චා. ප්‍රමාදයි දුවේ.... මම නාරද පුතාට කතා කළා. ටැලිපෝන් එකේ මොකක්ද කියනවා.."
"ඔව් මාමේ එයාගේ ටැලිපෝන් එක නැති උනා ඊයේ.. එයා දැන් එළියට ගිහින්. මාමේ දැන් අපි අනෙක් දේවල් කරමු. අපි දෙන්නම එනවා මාමේ..අපි දැන්ම පිට වෙනවා. හෙට දවස ඇතුළත එනවා මාමේ..."
"හොදයි දුවේ... අපි මරණේ වැඩ සඳුදා ගන්නයි හිතුවේ...."
"බය වෙන්න එපා මාමේ හැම දේටම අපි ඉන්නවා.. මට මගේම අම්මා නැති උනා වගේ... හැම වියදමක්ම අපි බලා ගන්නම්...."
මම සාලයේ කවුළුවෙන් ජූනි අහසේ සිරි නැරඹුවෙමි. එය ලස්සන දවසකි. මේ නගරය සුන්දර තැනක් යැයි මට සිතුණි. ජීවිතය නරකම නවාතැනක් නොවේ. නැන්දම්මා නැති මේ මිහිතලය ලෝකවාසීන්ගේ පැවැත්මට සුභදායක තැනක් වෙනවා නිසැකය. "හොඳට මතක තියා ගනිං මං මැරුණත් උඹ දිහා බලන් ඉන්නවා කියලා. තෝ මගේ කොලුවට නරකක් කළොත් මං උඹට යහතින් ඉන්න දෙන්නේ නැහැ...." මගේ නැන්දම්මා මට වරෙක කීවාය. එසේ නම් මේ මොහොතේ ඇය කොහේ හෝ සිට මා දෙස බලා සිටිනවා ඇත. මා බලාපොරොත්තු වූ මොහොත පැමිණ තිබේ. මගේ යක්ෂ නැන්දම්මාගෙනුත් මගේ ගොබ්බ සැමියාගෙනුත් පළි ගැනීමට වාරය දැන් පැමිණ තිබේ. මගේ සැලැස්ම බොහෝ සරළය . නැන්දම්මා ගේ මරණය නාරදට නොකියා සිටීම මගේ අභිප්‍රායයි. මියගොස් මදෙස බලා සිටින නැන්දම්මා මෙයින් අති මහත් කෝපයට පත් වී පෙරේත ආත්මයකට පත් වනු ඇත. ජීවත්ව සිටින මගේ සැමියා මවගේ මළගමට යන්නට නොහැකි වීමේ හේතුවෙන් සිත් සන්තාපයට පත් වනු ඇත. අනෙක් අතට අකිල - මන්දිරා යුවළගේ ගොං විවාහයට සහභාගී වී ප්‍රීති වීමට මට උවමනාය. නාරද ගේ මිතුරෝ ලංකාවේ ඔහුගේ පවුල ගැන නොදනිති. මේ නිසා මේ සුපුන් මරණයේ තොරතුරු ඔහු අතට පත් නොවන බව පැහැදිලිය. මගේ විවාහය බිඳී යනු ඇත. කමක් නැත. මිනිහෙක් හොයා ගැනීම මේ රටේ අපහසු නොවේ. රැකියාවක් මට තිබේ. ඉතිරි කර ගත් මුදලක් තිබේ. තැන නොතැන නොබලා කෙල හලනා ලාංකික අයියලා, මල්ලිලා පැරිසියේ බොහෝමය. 

කිසිදු වෙනසක් නොමැතිව දවස ගෙවී ගියේය. උදේ ආහාරයෙන් පසුව අකිල ගොනා හමුවී මගුලට හෙල්ප් එකක් දෙන්නට ගිය නාරද බොහෝ හවස් වී යලි පැමිණියේය. උදේ කාලයේ නිවසේ වැඩ කටයුතු නිම කර "මොන මගුලක් ද මන්දා" පොත කියවූ මම සවස් කාලයේදී "කුඹියෝ" ටෙලි නාට්‍යයේ කොටස් හතරක් නැරඹූවෙමි. අනතුරුව අකිල ගොනා ට කතා කර මගේ මිනිහා ලඟ සිටිනවා නම් දුරකතනය දෙන්නැයි කීමි. මට උවමනා වූයේ අම්මාගේ මරණය ගැන හෝඩුවාවක් ඔහුට ලැබී ඇත්දැයි දැන ගැනීමටයි. අම්මා කතා කළාද ... මම සුපුරුදු අයුරින් අසීමි. "කතා කරන්නේ කොහොමද..? මගේ මොබයිල් එක නැති උනා කියලා ඔයා දන්නේ නැද්ද...?" ඔහු කීවේය. අම්මා ආයේ තොට ජීවිතේට කතා කරන්නේ නැහැ මෝඩයෝ... යනුවෙන් කියන්නට සිතුණු මුත් එසේ නොකීමි. 
මගේ සිත භීතියෙන් පිරී තිබුණු බව සැබෑය. ඒ බියට හේතුව විවාහය කැඩෙන්නට ඇති ප්‍රවනතාවය නිසා නොවේ. නාරද කෝප ගෙන මට පහරදෙනු ඇතැයි මට සිතුණි. ඔහුගේ ශාරීරික අඩම්තේට්ටම් විඳින්නට මට නොහැකිය. කාත් කවුරුවත් නැති මේ රටේ මගේ පිහිටට එන්නේ කව්ද..? අම්මා ගේ මරණය නොදැන්වූ බව දැන ගන්නා ඔහුට මා මරා දැමීමේ වුව හැකියාවක් ලැබෙනා බව පැහැදිලිය. මක් නිසාද යත් මගේ සැමියා ගේ ජිවිතයේ වටිනාම වස්තුව ඔහුගේ මව වන නිසාය. අම්මාට එරෙහිව වදනක් කියනා තැනැත්තාව මරා දැමීමේ හැකියාව ඔහුට තිබේ.

පසුදාට පහන් වුනු පසු අපි මගුලට සුදානම් උනෙමු. සතුටු සිතක් මට නොවිණ. මේ උත්සවය වනාහි කිසිදු අයුරකින් සතුටු විය හැකි තැනක් නොවනු නියතය. මගේ සිත මට බැන වදියි. ගීතයක් මුමුණමින්, හුරුවම් බාමින් නාරද හැඳ පැළඳ ගන්නේ තමන්ට ලෝකයේ සිටි වටිනාම වස්තුව අහිමි වූ බව නොදැනය. මේ කරුණ කොයි මොහොතක හෝ ඔහුගේ සවනට ඇතුල් වනු ඇත. ගැලවී යා හැකි මගක් මට තිබේද...? නාගොඩ මාමා ගෙන් ඇමතුමක් නොලැබුණු බවත් මේ මරණය ගැන කිසිදු පුවතක් මා නොදන්නා බවත් කීම ප්‍රමාණවත් වේද...? මගේ වදන් පිළිගන්නා කෙනෙක් සිටිත්ද...? අනෙක් අතට ඊයේ උදෑසන මේ කරුණ නාරද ට නොලියන්නට තීරණය කළ මොහොතේ මා සතු වූ රැඩිකල් චරිතයට සිදු වුයේ කුමක්ද...? මා මේ කරමින් සිටින්නේ ලෝක සදාචාරයට පටහැනි දෙයක් නොවේද...? කෙසේ වෙතත් යළි ආපස්සට යන්නට නොහැකිය. කිසිදු අයුරකින් නැන්දම්මාගේ මරණය ගැන සැමියාට කියන්නට දැන් මට නොහැකිය.

අකිල ගොනා ගේ මගුල ජය එකකි. නැති දෙයක් එහි නොවිණ. රස කෑම, මත්‍ බිම, නැටුම්, ගැයුම්, පමණක් නොව ඇනකොටා ගැනීම් පවා අඩු වුයේ නැත. මගේ සැමියා හැකි උපරිම අයුරින් ප්‍රීති විය. වෙනදාට වඩා වැඩියෙන් විස්කි මුවට හලා ගත් ඔහු නැටුම් බිමට පිවිස ලෝකයේ රටවල් කීපයක්ම නියෝජනය කරන නැටුම් වර්ග රඟ දක්වමින් වැඩි දෙනෙකුගේ උපහාසයට ලක් විය. මම ඔහු දෙස ඇසි පිය නොගසා බලා සිටියෙමි. අම්මා මැරුණු මොහොතේ TANGO නටනා එකම පුතා ඔහුද...? අම්මා මැරුණු මොහොතේ SALSA නටන එකම පුතු ඔහුද...? නැන්දම්මාගේ මරණය පුතුට නොකියූ එකම ලේලිය මමද..? මුල් අවස්ථාවේම මරණය කීවා නම් නාරද මව්බිමට යනු ඇත. මව් වියෝවේ සෝකය කාලයාගේ ඇවෑමෙන් මැකී ගිය විට සාමාන්‍ය යුග දිවියක් ගෙවන්නට තිබුණා නොවේද...? මගේ හුදු වෑයම වූයේ නන්දම්මාගෙන් පළි ගැනීම වුනත් දැන් මානසික පිඩාවට පත්ව සිටින්නේ මා නොවේද...? පරාජය වී සිටින්නේ මා නොවේද....? 
"මචං මං ලබන සුමානේ ලංකාවට යනවා..ගිය පාර යන්නත් බැරි උනා. මේ පාර නම් උඹලගේ අම්මා බලන්න යනවා...." මිතුරෙක් නාරදට කීවේය. 
"ලොකු උදව්වක් මචං ගිහිං බලලා වරෙන්..." කියූ සැමියා මගේ උරහිසට තම හිස තබා ගෙන වැළපෙන්නට පටන් ගත්තේය. නිවෙස් ගත වෙන්නට කාලය පැමිණ ඇතැයි මට සිතුණි.
සාලයේ සැටියේ වාඩි ගත් නාරද යළිත් හඬන්නට පටන් ගත්තේය. මේ මූසල කමට හේතුව අම්මා මතක් වීම බව මම දනිමි. මම දෙපයින් ඉන්නේ අම්මා හින්දා .... ඔහු දහස් වැනි වතාවටත් කී විට මගේ කෝපය ඉහවහා ගිය බව කිව යුතුය.
"නාරද ඔයා ගොනෙක්ද...? ඔයා වැඩිහිටියෙක්. ඔයා මේ ජිවිතේ ගොඩ නගා ගෙන තියෙන්නේ තනියම. ඔයා මහන්සි වෙලා වැඩ කරනවා. මේ හැම දෙයක්ම ඔයාගේ මහන්සියෙන් ලැබුණු දේවල්. ඉතිං මොන කෙහෙල් මලකටද ඔයා දෙපයින් ඉන්නේ අම්මා හින්දා කියලා නිතරම කියන්නේ. මට දැන් ඔය වචන ටික අහලා එපා වෙලා...." ඔහු මදෙස බැලුවේය. කිසිදු කෝපයක් ඒ මුහුණේ පෙනෙන්නට තිබුනේ නැත.
"මං ඔයාට මගේ ජිවිතේ හැම දෙයක්ම කියලා නැහැනේ නිල්මිණි..."
"මොනවද ඔයා මට කියලා නැත්තේ....?"
"මට අවුරුදු 08 ක් කාලේ වෛරස් එකක් ගිහින් මගේ කකුල් දෙකම පණ නැතුව ගියා. ඔයා දන්නවනේ තාත්තා අපිව දාලා ගිහින් තිබුනා කියලා. අපි හිටියේ කොලොන්නාවේ. මහ පාරට හුඟක් දුර. අතේ සතයක් තිබුණේ නැහැල්ලු අම්මා ගාව. එයා කොහෙද ගිහින් බයිසිකලයක් හොයා ගෙන ආවා. මාව බයිසිකලේ උඩ තියලා අම්මා හැතැම්ම හතරක් තල්ලු කර ගෙන ගිහින් තියනවා. තුන් හතර පාරක් අපි දෙන්නම වැටුණා. අන්තිමට ඉස්පිරිතාලේදී දොස්තර කියනවා මට මතකයි මේ විදිහට තව පැයක් පරක්කු උනා නම් ළමයගේ කකුල් දෙකම කපන්න සිද්ධ වෙනවා කියලා. ඒක තමයි මම නිතරම කියන්නේ මම දෙපයින් ඉන්නේ අම්මා හින්දා කියලා...."
එදා රාත්‍රියේ මට නින්දක් නොවිණ. නාගොඩ මාමා කිව් අයුරින් අවසන් කටයුතු සිදු වන්නේ හෙට සඳුදාය. හෙට උදෑසන අවදි වුනු විගස නාරද ට මා අතින් වුණු වැරැද්ද කියන්නට මම තීරණය කළෙමි. ඔහුත් මගේ නැන්දම්මාත් ජීවිතය ගොඩනගා ගන්නට සටන් කළ දෙදෙනෙකි. ඔවුන් විදි දුක මම නොදනිමි. පුතුන් කෙරෙහි මව්වරුන් දක්වන සෙනෙහස තේරුම් ගැනීමේ හැකියාවක් මට නොවේ. එය වදනින් විස්තර කල නොහැකි ගැඹුරු සෙනෙහසක් විය යුතුය. මවක් තම පුතු ජීවිතය බෙදා ගන්න ලේලියට වෛර කිරීමේ පදනම කුමක්දැයි මට නොතේරුනත් එය වනාහි පලි ගන්නට තරම් දුර යා යුතු ගැටළුවක් නොවේ. තමා කරනා දේ නිරන්තරයෙන්ම නිවැරදි යැයි කියා සිතනා, තමන්ගේ වැරදි වටහා ගන්නට සුදානම් නැති දුර්ලභ වර්ගයේ සත්වයෙකි නැන්දම්මා යනු.  කරුමෙක මහත නම් මේ සත්ව කොට්ඨාශය පෘතුවි යෙන් අතුරුදහන් වීමේ තර්ජනයකට මුහුණ දී නො තිබීමයි .  
සඳුදා උදේ මම මුලින්ම කළේ මගේ මවට කතා කර නැන්දම්මා මිය ගොස් ඇති බව කීමයි. සති අන්තයේ කිසිවෙක් ගෙදර නොසිටි බවත් සිකුරාදා උදේම මාතලේ නැන්දලාගේ ගෙදර ගොස් පැමිණියේ මේ දැන් බවත් මරණය ගැන කිසිදු තොරතුරක් නොලැබුණේ ඒ නිසා විය හැකි බවත් දැන්ම එහි යන බවත් අම්මා කීවාය. මා කළ සක්කිළි වැඩේ කීම පසුවට කල් තැබීමි.
නාරද ගොරවමින් නිදියයි . තව මොහොතකින් කුමක් සිදු වේද...? අද දවස මා මේ නිවසේ ගත කරනා අවසන් දවසද...? මම ඔහුගේ හිස පිරිමැද්දෙමි. නළලත සිප ගතිමි. දුරකථනය නාද වෙද්දී සාලයට පැමිණි මම මගේ බාල සොහොයුරාගේ ඇමතුමට "හලෝ" යැයි කිමි 
"අක්කේ අපි මේ ඉන්නේ නාරද අයියලාගේ ගේ ඉස්සරහා. කිසිම දෙයක් නැහැනේ..සුදු කොඩියක් වත් නැහැ. අක්කට ෂුවර් ද නැන්ද මලා කියලා...?"
"ඔව් මල්ලි මට නාගොඩ මාමා කතා කරලා කිව්වා.."
"කවද්ද..."
"සිකුරාදා.."
සිකුරාදා...? ඉතිං අක්කේ ඔයාලා එන්නේ නැද්ද...? කෝ නාරද අයියා...?
"ඔහොම ඉන්න මල්ලි මං අයෙ විනාඩියෙන් ඔයාට ගන්නං...." සිදුවන්නේ කුමක්දැයි සිතා ගන්නට නොහැකිය. මගේ ජංගමය සෝදිසි කරන මට සිකුරාදා උදේ නාගොඩ මාමා ගෙන් ඇමතුමක් පැමිණ ඇති බව පෙනේ. එසේ නම් එය සිහිනයක් නොවේ. මා සති අන්තය ජීවත් වූයේ සිහිනයක නොවේ. මෙය යථාර්තයයි . නාගොඩ මාමා ගේ අංකයට අමතන මට පිළිතුරක් ලැබුණේ නැත. "ඔබ ඇමතූ අංකය භාවිතයේ නොමැත..." ජිවිතයේ ප්‍රථම වරට හදවත වේගයෙන් ගැහෙනා බව මට දැනේ. කිසි දිනක නොවූ රැඩිකල් චරිතයක් ආරූඩ කර ගනිමින් සති අන්තය ගෙවූ මගේ ආත්ම අභිමානය පුපුරා යමින් තිබෙන්නේද...? කළ යුතුව ඇත්තේ එක දෙයකි. නාරදලා ගේ මහා ගෙදරට කතා කිරීමයි.
නැන්දම්මාගේ අංකය සිතේ නැත. අංක පොතේ ලියා තිබේ. දුරකතනයේ බොත්තම් තද කරනා මගේ ඇඟිලි වෙව්ලයි. කිලෝ මීටර දස දහසක් දුරින් මාලබේ කඩුවෙල පාරේ නිවසක දුරකතනය නාද වෙයි. මේ නිවස ඉදිරියේ වාහනයක මගේ දෙමාපියන් සහ අනිල් මල්ලී රැඳී සිටිනා බව මට මතක් විය. 
දුරකතනය දෙවරක් නාද වෙද්දී එය එසවූ තැනැත්තා "හෙලෝ" යැයි කිවේ නැත. කිසිදු වදනක් නෑසී ගෙවී යන දස වන තත්පරයේදී වේගයෙන් හුස්ම ගන්නා හඬක් පමණක් ඇසුණි. එවිට මම හෙලෝ කිමි..... මට ඇසුණේ යළි කිසි දිනක අසන්නට බලාපොරොත්තු නොවූ කටහඬයි.
"පට්ට වේසි.... මම දැන ගෙන හිටියා තෝ මගේ මරණේ වත් මගේ කොල්ලට කියන්න නැහැයි කියලා...පාහර......." තවත් කිසිවක් කියන්නට ඉඩ නොතබා මම දුරකතනය විසන්ධි කළෙමි. සැටියේ වාඩි ගන්නා මට සිදුව ඇත්තේ කුමක්දැයි වටහා ගන්නට හැකිය. මෙය වනාහි හුදෙක්ම මගේ යහගුණ පිරික්සා බැලීම පිණිස නැන්දම්මා විසින් අටවන ලද උගුලකි. නාරද මේ සිදුවීම දැන සිටිනවා විය හැකිද..? තමන්ගේ බිරිඳට විරුද්ධව අම්මා සමග එක්වී කුමන්ත්‍රණයක යෙදෙන්නට ඔහුට හැකිද....?
එවිට නිවසේ තැනක නාද වන තවත් දුරකතනයක හඬ මට ඇසුණි. සිකුරාදා හවස් යාමයේ නිවසට පැමිණ නැති වුණා යැයි කී නාරද ගේ දුරකථනයේ හඬ හදුනා ගැනීමට අපහසු වූයේ නැත. 
"අම්මේ..../ ඔව් අම්මේ/ ඔව්...... මට තේරෙනවා....../ ඔව් අම්මේ.... හා......./ මං කියන්නම්......./ හා /හා...මට තේරෙනවා අම්මේ..../ ඔව්....." ඔහු කියයි.
"ඔයාගේ ටැලිපෝන් එක නැති උනේ නැද්ද...?" අන්තිමේදී මම ඇසුවෙමි.
"මේක අම්මගේ අදහසක්... ඔයා කොහොම ගැනියෙක් ද කියලා බලන්න... එන්න.. තව ටිකක් නිදා ගන්න.. අපි පස්සේ මේ ගැන කතා කරමු... මගේ ඔළුව පැලෙන්න එනවා... මට ඇස්ප්‍රින් එකක් දෙන්න......"

එය අපූරු කුමන්ත්‍රණයක් නොවේද..? නැන්දම්මා, නාරද, නාගොඩ මාමා තව කී දෙනෙක් මේ කාර්යට සම්බන්ධ වී සිටියේද...? "මගේ මොබයිල් එක නැතිවෙලා ඔයාට ගානක්වත් නැහැ...." නාරද කීවේය. "ඊයේ රෑ දුවේ.... පපුව අල්ලාගෙන ඉඳ ගත්තා.. අපි ඉස්පිරිතාලේ ගෙනිච්චා. ප්‍රමාදයි දුවේ.." නාගොඩ මාමා කිවේය. මේ සියල්ලෝ සම්මාන ලැබිය යුතු නළුවෝය. දින දෙකක් පුරාම මම නාරද දෙස බලා සිටියෙමි. සිතෙන් උදම් අනුවෙමි. එහෙත් දන්නා තරමින් පුද්ගලයින් තිදෙනෙක් මදෙස විමසිල්ලෙන් බලා සිට ඇත. ඔවුහු මා රූකඩයක් බවට පත් කළහ. මගේ ආත්ම විශ්වාසයට සැර පහරක් එල්ල කළහ. එය ගැලවිය නොහැකි නින්දාවකි.

පුංචි මුළුතැන්ගෙට පිවිසුණු මම පුංචි අල්මාරියෙන් ඇස්පිරින් පෙත්තක් පුංචි වීදුරුවකට දමා කරාමයේ වතුරින් එය පිරවුයෙමි. වැඩි යමක් නැති මගේ පුංචි ශීතකරණයේ තිබී හමුවුණු පුංචි දෙහි කෑල්ල මිරිකා තවත් වීදුරුවකට දැමු මම මේ සියල්ල රැගෙන සැමියා අසලට ගියෙමි . ඔහු ගෙන් ස්තුතියක් ලැබුණේ නැත. ඒ වෙනුවට ඔහු කළේ මගේ පුංචි ජීවිතය දෙස බලා සිටීම පමණි. 

Nissanka Rajapaksa

unread,
Jul 11, 2024, 7:31:43 PM7/11/24
to INDRAKA group


2
මව සහ දියණිය 

- නිශාන්ත වැලිඅංග 

ඇසක් වන් තම එකම දියණිය අමතර පංතියට ගොස් නැවත එනතුරා ඇය බලා සිටියේ හැඟුම්බරවය.

ඇගේ දෙනෙතෙන් ගැලු උණු කදුළු අතේ වූ ලේන්සුවෙන් තෙමී ගියේය. ලේන්සු මාරු කිරීමක් ගැන නොසිතූ ඇය නාසයෙන් ගැලු සොටු ඒ ලේන්සුවෙන්ම පිසදා ගත්තේය.

පාන්දරින් අවදි වී තම දෙකකුල් ස්පර්ශ කර වැඳ පිටව ගිය දියණිය සිහියට නැගෙත්ම ඇගේ හැඬීමේ වේගය උත්සන්න වන්නේය. මේ දුක කාට හෝ පවසා හිතේ දුක නිවාගත යුතු යැයි සිතුණත් කටක් ඇර කාට කෙසේ කියන්නදැයි ඇය සිතුවාය.

ඇය අල්මාරියේ දොර ඇරියාය. අල්මාරිය විවෘත කළ විගස ඇගේ දෙනෙත දියණියගේ ඇඳුම් වෙත දිව ගිය අතර ඉන් ඇදුම් කිහිපයක් තෝරා අතට ගත් ඇය ඒවා ළැමට තුරුළු කොට ගනිමින් ඉකිබිඳිමින් අඬන්නට පටන් ගත්තාය.

එම ඉකිබිදීම අතරතුර ඇය හීන් හඩින් “අනේ මගේ ළමයා” යැයි කිහිපවරක් පවසන්නටද විය. අලුත් ලේන්සුවක් සෙවීම පසෙක දැමූ ඇය අල්මාරිය වසා දමා දෙකට නැවී යට සායෙන් කදුළු පිස ගත්තාය.

යට සායේ රේන්දයේ ඇදුණු නූලක් ඇගේ නාසයේ සිදුරක් අස්සට අහම්බෙන් රිංගූ අතර ඒ සැනෙන් ඇයට කිවිසුමක් පිට විය. ඇය වහා ගැස්සී ගියාය. ඔව්! ඇගේ පපුව වේගයෙන් ගැහෙන්නට පටන් ගත්තේය.

හරියටම අවුරුදු විස්සකට පෙර අතීතයකට ඇගේ මනස ගෙන යාමට එම කිවිසුමට පුළුවන්කමක් තිබුණේය. කිසිදු සැකයක් නැත. මෙයාකාරයෙන්ම හරියටම එදත් මෙලෙසින්ම කිවිසුමක් ගියේය.

අවුරුදු ගණනක් අමතකව තිබූ විටෙක අප්‍රසන්න විටෙක ආස්වාදජනක එම සිදුවීම... මනසට දැඩි වදයක් දී සදාකාලයටම අමතක කර දැමූ ඒ සිදුවීම හරියටම ඒ ලෙසටම සිදුවීම, ඇයට සිතා ගත නොහැක්කක්ම විය.

දෙයියනේ මගේ අහිංසක කෙල්ලටත් එහෙම වෙයිද?

“දැන් ඇඬුවා ඇති! මොන කෙහෙල්මලක්ද මේක.” ඈ මනසේ එම වාක්‍ය රැව් පිළිරැව් දී ගියේය. දෙයියනේ! මගේ අහිංසක කෙල්ලටත් එහෙම දෙයක් වෙයිද?

‘’මම දැන් සැරයක් කිව්වනේ ඇඬුවා ඇති, උඹ මාත් එක්ක යන්ට එනවද නැද්ද?”

“මගෙන් ගන්ට ඕනේ දේවල් ඔක්කොම අරන් ඉවර වුණාම ඔයා මට කතා කරන්නේ උඹ කියලද.”

“මේ හැම දෙයක්ම වුණේ ඔයාගෙත් කැමැත්ත උඩ. මට විතරක් දොස් කියලා හරියන් නෑ.”

“දෙයියනේ මම තාම පොඩි කෙල්ලක්. මට තාම දහ අටවත් ලබලා නෑ.”

“දහ අටට කරපු හරිය මදෑ.”

“අනේ ඇයි එහෙම කියන්නේ? ඉස්කොලෙ ඇරෙන වෙලාවට බස් හෝල්ට් එක ළගට ඇවිල්ලා මට කරදර කරලා මාව යාළු කර ගත්තෙ ඔයා.”

“ඉතිං උඹට තිබ්බනෙ මට කැමති නෑ කියලා කියන්ට.”

“කැමති නෑ කියලා මම කී සැරයක් නම් කිව්වද? මට මගේ පාඩුවේ ඉස්කෝලෙ වැඩ කර ගෙන විභාගෙ කරන්ට දෙන්ට කියලා. ඇයි දෙයියනේ මම කොච්චර නම් කියලා ඇතිද?”

“හරි, ඉතිං, අන්තිමේදී කැමැත්ත දුන්නනෙ.”

“මම කැමැත්ත දුන්නා නෙමෙයි ඔයා මාව රවට්ටලා කැමැත්ත ගත්තා. ඊට පස්සෙ ගන්ට ඕනෙ හැම දෙයක්ම මගෙන් අර ගෙන දැන් මගේ පිටම වැරැද්ද පටවන්නද හදන්නේ.”

අවුරුදු විස්සකට පෙර සිදු වූ එම සිදුවීමේ සියලු ජවනිකා දැන් දැන් ඇගේ මනසට වේගයෙන් ගලන්නේය. ඇය කොතරම් නම් ඒවා යටපත් කරන්නට උත්සාහ කළත් දියේ එබූ රබර් බෝල මෙන් ඒවා උඩ මතු වන්නේය.

“ඔය කදුළු ටික පිහ දා ගන්නවා. දැන් ඇති මෙතන හුරතල් වුණා... තමුසෙට ඕන් නම් තනියම මෙතන ඉන්නවා. මම යනවා යන්ට.” යැයි කියමින් එදා තම පෙම්වතා තමා හෝටල් කාමරයේ යහන මත තනි කොට දමා එතැනින් පලා යන්නට උත්සාහ කළ අයුරු. ඔහුට යන්නට ඉඩ නොදී තරයේ ඔහුගේ අතින් ඇද්ද අයුරු… තම අත ගසා දමා යන්නට පෙම්වතා සූදානම් වූ හැටි, බැරිම තැන අරහෙන් මෙහෙන් ඇඳ සිටි ඇදුම් පිළිවෙළකට හරි ගස්සමින් කෙස් වැටිය බාගෙට පීරා ගනිමින් කිසිවක් සිදු නොවූ ලෙසකින් තානායමෙන් පිටව ගිය හැටි.

ඇගේ මනසට ඊයේ සිදු වූ දෙයක් ලෙසින් ගලා ආවේය. පාසැල් ගමන හමාර කරන්නටත් කලින් ගැහැනියක වූ හැටි, කුස තුළ දරුවකු මෝරන්නට වූ අයුරු, දෙමාපියන්ගෙන් දාහක් බැනුම් අසමින් ඇති පදමට ගුටි කමින් සමාජ අපවාදයට ලක් වෙන්නට පෙර එයින් ගැලවෙන්නට සමත් වූ හැටි...

ඇගේ මනස එම තිත්ත සිදුවීම් සමුදාය නැවත නැවත එළියට දමමින් ඇයට තවතවත් කරදර කළේය. වසර විස්සකට පෙර අද මෙන් කාමුක අතින් රට මෝරා නොතිබුණ කාලයක පවා එවැනි දෙයක් සිදු වූයේ නම් ජංගම දුරකථන, අසභ්‍ය වෙබ් අඩවි, රාගය අවුස්සන ටෙලි නාට්‍ය ඇති පදමට ඇති වර්තමානයේ තමාගේ අහිංසක දරුවා ඊට බිලි වීම ගැන කුමන කතාදැයි ඇයට වහා සිතුණි.

නගරයේ සුපිරිතම කාන්තා පාසැලේ උසස් පෙළ ශිෂ්‍යාවක වූ ඇගේ දියණිය නිවසට එන තුරා ඇය බලා සිටියාය. නමුත් ඒ දරුවාගේ ඇඟට කඩා පැන හතර අතට දෙස් දෙවොල් තබන්නටවත් ගුටි බැට පූජාවකින් සංග්‍රහ කරන්නටවත් නොවේ. හිමින් සීරුවේ කතාවට ඇද නොමඟ ගිය දියණිය නැවත හරි මාර්ගයට ගැනීම උදෙසාය.

‘’අම්මේ, අද හරියට වෙලා ගියා.” යැයි කියමින් දුව ගෙදරට ගොඩ වූවාය. “ඇයි අද බස් පරක්කුද?” ඇය ඇසුවේ නිකමට මෙනි. “ඔව් බස් පරක්කුයි. ඊටත් අද සර් ටිකක් වෙලා යනකල් පසුගිය අවුරුදු දෙක තුනේ ප්‍රශ්න පත්තර කරා.” එසේ කියූ දියණිය නාන කාමරයට වැදී තදින් දොර වසා ගත්තාය.

කතාව කොතනින් පටන් ගත යුතු දැයි ඇය දොරට හේත්තු වෙමින් ටික වේලාවක් මෙනෙහි කළාය. මඳ වේලාවකට පසු වතුර මලෙන් වතුර වැටෙන හඩ ඇයට හොඳින් ඇසුණේය.

දියණියගේ කාමරයට ගිය ඇය හාත්පස බැලුවාය. ජංගම දුරකථනය දක්නට නොතිබුණේය. ඔව්... තම දියණිය එය නාන කාමරයටත් රැගෙන ගොසිනි. ඇයට යමක් තේරුම් ගියේය. වැසිකිළියට යන විටත් ජංගම දුරකථනය රැගෙන යන්නේ නම් ඒකාන්තයෙන්ම එහි කුමක් හෝ රහසක් අන්තර්ගත බව ඇයට තේරුම් යන්නට මහ වෙලාවක් ගියේ නැත.

දියණිය නාන කාමරයෙන් එළියට එන තුරා ඇය බොහෝ වේලාවක් රැක ගෙන සිටියත් නාන කාමරය තුළින් වතුර වැටෙන හඬත් දුරකථන ඇමතුමක කටුකුටු සද්දයත් ඇයට යාන්තමට ඇසුණේය.

පාසැල් යන දරුවාට ජංගම දුරකථනයක් අරන් දීමෙන් තමන් කර ඇත්තේ වස වැරැද්දක් බව ඇයට ඒත්තු ගියේය. ඊටත් දරුවාගේ දුරකථනය තමා හෝ තම සැමියා හෝ අල්ලනවාටත් දැඩි විරුද්ධත්වයක් පෙන්වීම තුළින් යම් භයානක දෙයක් සිදුවෙන බව නොඅනුමාන බැව් ඇයට වැටහුණි. බොහෝ වේලාවක් ගිය පසු දරුවා නාන කාමරයෙන් එළියට පැමිණියේය.

‘’ඇයි පුතේ අද වෙලා ගියේ?”

“ඇයි මං කිව්වේ, ඇහුන් නැද්ද?” එසේ කියමින්ම කාමරයට වැදුණ දියණිය වහා ඇඳට පැන කොට්ටය යටින් වමත රිංගවා දකුණතින් මුළු කොට්ටයම බදා ගනිමින් හරිබරි ගැසුණාය.

කතාව කොතනින් පටන් ගත යුතු දැයි සිතා ගත නොහැකි වූ මව මලක් මෙන් හැදූ තම දියණිය දෙස මොහොතක් බලා සිටියාය.

“මොකද අම්මා හොර ගල් අහුලන්නේ? ප්‍රශ්නයක් තියෙනවා නම් කෙළින් අහන්ට.” දියණිය නොරිස්සුම් සහගත බැල්මක් හෙළමින් කීවාය. ඊට තම මවගෙන් කිසිදු ප්‍රතිචාරයක් නැති හෙයින්, “හරි... හරි... මම දන්නවා... මම එන්ට වෙලා ගිය එක ගැනනේ අම්මට සැක. එහෙනම් මෙන්න අපේ ටියුෂන් සර්ගේ ටෙලිෆෝන් නොම්බරය... කතා කරලා අහගන්ට විස්තරේ.” යැයි කියූ දියණිය ෆයිල් කවරයක මුද්‍රණය කර තිබූ දුරකථන අංකයක් පෙන්නුවාය.

“දුව, මම ඔයාගෙ අම්මා… මට බොරු කියන්ට එපා.”

“ඔන්න... ඔන්න... ඉතිං පටන් ගත්තා. අම්මේ... මට දැන් ඔය එකම තැටිය අහලා අහලා ඇති වෙලා, ලස්සන තරුණ ගෑනු ළමයෙක් පාරේ යන එන කොට පරිස්සම් වෙන්ට ඕනෙ... මූණෙ දැලි ගාගන්න වැඩ කරනට එපා. අප්පච්චියි මායි හොඳ නම්බුකාර මිනිස්සු. හැමෝම අපිට හිනා වෙන්ට බලාගෙන ඉන්නේ... ඔයාගේ ලොකු අම්මගෙ දුව කොහොම හරි ලොකු තැනකට ආවා. පුංචි අම්මගේ දුවත් විභාගෙ පාස් වුණා. ඔයත් කොහොම හරි… අනේ අම්මේ, හැමදාම ඔය ටිකනෙ කියන්නේ... මට නම් දැන් අහලා අහලා එපා වෙලා.”

“ඒවා කොයිතරම් ඇහුවත් එක තත්පරයක් ඇති ඒවා අමතක වෙලා ජීවිතේ විනාශ වෙලා යන්ට.”

“අපි එහෙම ජීවිත විනාශ කර ගන්නෑ අම්මා.”

“ඒ වුණත් දුවේ, ඔයා තාම ඉස්කොලෙ යන පොඩි ළමයෙක්. ජිවිතේ ගැන අත්දැකීම් නෑ. ඒත් අවුරුදු තිහක් හතළිහක් වෙච්ච පිරිමියෙකුට පුළුවන් පුංචි රෝස මලක් එක දවසකින් විනාශ කරලා දාන්න.”

“අඩේ අප්පා! අපෙ අම්මට සාහිත්‍යත් පුළුවන්නේ.”

“විහිළු නෙමෙයි... මම මේ කියන දේ හොඳට අහගන්නවා. කෝ මට දෙනවා ඔයාගෙ ෆෝන් එක.” එකවර ඉදිරියට පැන්න මව තම දියණිය අත වූ ජංගම දුරකථනය උදුරා ගත්තාය.

දියණිය කිසිදු විරෝධයක් නොදක්වා බලා සිටියේ තම මව ජංගම දුරකථන පරිහරණය ගැන බිඳක්වත් නොදන්නා බැව් ස්ථිර නිසාය.

දුරකථනයේ යතුරු කිහිපයක් එහෙට මෙහෙට තද කර කිසිවක් සොයා ගත නොහැකි වූ හෙයින් “මම මේක අප්පච්චි ආවහම පෙන්නලා දෙන්නම්” යැයි කියා ඉනේ ගසා ගත්තාය. ඒ සැනින් ඉදිරියට පැන්න දියණිය “අප්පච්චිට!” යැයි කියමින් මහත් පරිශ්‍රමයක් යොදා එය උදුරා ගත්තාය.

“ඇයි ඔයාට මොනාද මේකේ හංගන්නට තියෙන්නේ?” යැයි මව විමසුවත් ඉදිරියට පැන දුරකථනය ගෙන කාමරයෙන් එළියට පැන්න දියණිය නාන කාමරයට වැදී සියලු රහස් එකින් එක මකා දැමුවාය.

දියණිය නැවත නාන කාමරයෙන් එළියට එනතුරා අම්මා බිත්තියට පිට දී කල්පනා කරන්නට වූවාය.
ඇඟට කඩා පනින් නැතිව ළමයට කෙසේ අවවාද අනුශාසනා දිය යුතුද? පිරිමි කවදාවත් විශ්වාස කරන්ට එපා. අහිංසක මල් කැකුළු පොඩි කරන කොල්ලො දැන් හැම තැනම. විවාහයට කලින් ලිංගික සබදතා පවත්වපු ඉස්කෝලෙ යන ගෑනු ළමයෙකුට දැන් ඒඩ්ස් බෝ වෙලාලූ! අපේ පවුලෙ ඉන්නෙ ඔක්කෝම නම්බුකාර ගෑනු… ඔයාගෙ ලොකු අම්මා රස්සාවෙනුත් අස් වෙලා ගෘහණියක් වෙලා ඉතාමත් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා... ඔයාගෙ සුදු පුංචි දැන් එංගලන්තයෙ. තම දියණියට කිවයුතු වාක්‍ය කටපාඩම් කරන අතරවාරයේ දියණිය නාන කාමරයේ දොර ඇර එළියට ආවාය.

“මෙන්න ෆෝන් එක. අප්පච්චිට දීලා පුළුවන් දෙයක් කරන එකයි ඇත්තේ.” එසේ කියූ දියණිය ඉඟටිය ගස්සමින් කාමරයට වැදී ඇඳට පැන්නාය. දියණියගේ එම හැසිරීමත් සමඟම සාමකාමී ලෙසට විසඳන්නට බලා සිටි ප්‍රශ්නය යුද්ධයෙන් විසඳන තැනට කටයුතු සිදු වූයේ නොසිතූ ලෙසය.

“මොකක්ද උඹ කිව්වේ? දැන් උඹේ කට බොහොම වැඩියි... මට ඇත්ත කියපං. උඹ අද පංති යනවා කියලා කොහෙටද ගියේ?”

“ඇයි අම්මගෙ කන් ඇහුන් නැද්ද? මම කලින් කියපු දේම තමා දැනුත් කියන්ට තියෙන්නෙ.” යැයි කියූ ඇය ඇඳේ හරිබරි ගැසෙමින් කොට්ටයෙන් මුහුණ වසා ගත්තාය.

“එහෙනම් මට ශානිකා ඇන්ටි කිව්වේ උඹ ගෙස්ට් හවුස් එකකට මිනිහෙක් එක්ක රිංගනවා දැක්කා කියලා.”

“ආහ්... මේ අපේ ශානිකා ඇන්ටි! අම්මා මොනාද ශානිකා ඇන්ටි ගැන දන්නෙ? ඉස්කෝලෙට ළමයා දාලා ඉස්කෝලෙ ඇරෙනකල් එක එක පිරිමි එක්ක කාමරවලට රිංගන ගෑනු කියන කතා ද අම්මා විශ්වාස කරන්නේ? මගෙ ඇස් දෙකට අනන්තවත් දැකලා තියෙනවා ශානිකා ඇන්ටි පිරිමි එක්ක රෝන්දේ ගහන හැටි.”

“උඹට මහ ගෑනුන්ගෙ වැඩ ගැන වැඩක් නෑ. උඹට තාම දාසයයි.”

“හොඳයි මම බලා ගන්නම්කො... මම ශානිකා ඇන්ටිගෙ අන්කල්ට කියනවා පත්තිනි අම්මගේ හැටි.”

“උඹ මට ඇත්ත කියපං. කවුද ඒ මිනිහා?”

“මොන මිනිහද?”

“අද උඹව කාමරයකට ඇදගෙන ගිය එකා.”

“අම්මට මොකද ඒකෙ වගක්.”

‘පටාස්…’ “වහ ගනින් බැල්ලි කට. උඹ දැන ගන් උඹ කාටද කතා කරන්නෙ කියලා... අපි උඹව හැදුවේ බඩට කාලා නෙමෙයි. නොවිඳිනා දුක් වින්දා උඹව ලොකු මහත් කරන්ට. කියපං පරට්ටි ඒ මිනිහා කවුද? කාගේ කවුද? ඒකා මොකෙක්ද? කියපං පරට්ටි කියපං.” එසේ කෑ ගසමින් හැඬූ මව දියණියගේ කෙස් වැටියෙන් අල්ලා සොලවන්නට විය.

“ඌයි මගෙ කොන්ඩේ. ඌයි ආයි.”

“කියපං... කියනකල් අත අරින්නෑ. කියපං. කියපං.”

“එයා ගුරුවරයෙක්.”

“ගුරුවරයෙක්? ගුරුවරයෙක් කිව්වා! එතකොට ඒකා උගන්නන්නෛ ලිංගික විද්‍යාවද?” එසේ කියූ මව නැවත වරක් දියණියගේ කෙස් වැටියෙන් අල්ලා අඳින්නට පටන් ගත්තාය.

“කියපං... නම කියපං... ඉන්න තැනක් කියපං... ටෙලිෆෝන් නොම්බරේ කියපං... කියපං. ඉතිං කියපං.” නැවත වතාවක් දියණියගේ කෙස් වැටියෙන් ඇල්ලූ මව එය අදිමින් පිස්සියක මෙන් දොඩවන්නට වූවාය.

“ටෙලිෆෝන් නොම්බරේ මගේ අතින් ඉරේස් වුණා. මට අට වසරෙදී විද්‍යාව උගන්නපු සර්. අපේ ඉස්කෝලෙට අල්ලපු වැටේ පිරිමි ඉස්කෝලෙ උගන්නන්නෙ.” දියණිය තත්පරයෙන් කීවාය.

දියණියගේ එම ප්‍රකාශයත් සමගම මවගේ සැර වහා බාල වූයේ ටියුෂන් කරන පාසැල් ගුරුවරයෙකු තම දියණියට ලැඛෙනවා නම් එය නරකම නෑ යන සිතුවිල්ලත් එක්කය.

“හොඳයි උඹ ඉස්කෝලෙ ගමන නතර කරපු ගමන් ඒකව කසාඳ බඳින්ට ඕනේ. උඹට තේරුණානෙ මම කියපු දේ. වහාම... වහාම... ඒ මිනිහට ඇවිත් අපිව හම්බුවෙන්ට කියපං.”

“අම්මා මොනවද මේ කියන්නෙ? කසාද බඳින්ට! මොන කසාදයක්ද? එයා කසාද බැඳලා ඉස්කෝලෙ යන ළමයෙකුත් ඉන්නවා.”

“මොකක්ද උඹ කිව්වේ? ආය කියපං බලන්ට. ආය කියපං බලන්ට.”

“කසාද බැඳලා ඉස්කොලෙ යන ළමයෙකුත් ඉන්නවා.”

“හත්දෙයියනේ! එතකොට උඹ මේ නාඩගම් නටන්නෙ බැඳපු මිනිහෙක් එක්කද? තෝ එළදෙනක්. අනේ! මාත් මගේ බඩෙන් මේ වගේ එකියක් වැදුවනේ...” යැයි කියූ මව ඇඳ විට්ටමේ හිස ගසා ගනිමින් ඉකිබිඳින්නට වූවාය.

“අනේ දෙයියනේ! මගේ අහිංසක කෙල්ල. බැඳපු මිනිහෙකුට අහුවුණොත් කෑලිවත් ඉතිරි වෙන්නෑ... උඹ මොනාද මේ කරගත්තේ.” යැයි කී මව තරහ එක්වරම අමතක කර දමා දැඩි ස්නේහයකින් තම දියණිය වැලඳ ගන්නට විය.

ක්ෂණිකව ඇති වූ තරහ ක්ෂණිකවම නිවී ගොස් දියණියගේ හිස තම පපුවේ හිරකර ගත් මව දෑතින්ම හිස පිරිමදිමින් වැළපෙන්නට වූවාය.

“අනේ අම්මේ, අම්මා මොනාද මේ කියන්නේ? අපි අතරේ එහෙම දෙයක් නෑ.”

“මොනවා! මොකක්ද උඹ කිව්වේ? මොකුත් වෙලා නෑ කිව්වා. එතකොට ඒකා උඹව හෝටල් කාමරේ තියාගෙන උඹේ ඔලුවෙ උකුණො බැලුවද? උඹේ ලේඩි හීරුවද?” යැයි කියූ මව එතෙක් වෙලා කිටිකිටියේ තම පපුවට හිරකර ගෙන උන් දියණියගේ ඇස් දෙක එක එල්ලේ බලනු රිසියෙන් පසෙකට තල්ලු කර දැම්මාය.

“මොකුත් වෙලා නෑ. මම තාම කෙල්ලෙක්. සිංහලෙන් කියනවා නම් කන්‍යාවක්.”

“මොකක්ද මේකේ තේරුම? මට නම් මේ කිසි දෙයක් තේරෙන්නෑ. තරුණ ගැනු ළමයි කසාඳ බැඳපු පිරිමි එක්ක හෝටල්වලට යනවා තියා අඩු තරමෙන් කතා බහ කරන එකක් වැරදියි.”

“මම ජයන්ත සර් එක්ක ඒ හෝටලේට ගියේ තුන් පාරයි. එක පාරක් මට ලන්ච් එකක් අරන් දෙන්නම් කියලා එක්කර ගෙන ගියා. එළියේ මේසෙට වෙලා කෑම කනකොට කිව්වා අපි නිදහසේ ඇතුළට ගිහින් කතා කරමුද කියලා. මම ඒකට බෑ කිව්වා. ඒ පාර කිව්වා අයියෝ ළමයෝ ලැජ්ජා වෙන්ට එපා... ඔයාව අඳුරන කවුරුත් මෙහේ නෑ කියලා. ඒත් මම ඇතුළට ගියේ නෑ. ලන්ච් එක අරගෙන ආවා. ඊට පස්සේ ආයේ දවසක සර්ගේ බර්ත් ඩේ එක කියලා එක්කරගෙන ගියා. එදා කෙළින්ම රූම් එකකටම යමු කිව්වා. ඒත් මම බෑ කියලා ආපහු හැරිලා එන්ට හදනකොට... වටපිට මිනිස්සු හිතයි අපි ගොඩයො කියලා ඒ නිසා මට ලැජ්ජා නොකර ඇතුළට ගිහින් නිදහසේ කතා කරලා පැයකින් විතර එමු කිව්වා. එහෙම කියලා මගේ අතින් ඇද්දා. ඒ පාර මම අත ගසා දාලා පාරට ඇවිත් බස් එකෙන් ගෙදර ආවා. එදා හිතා ගත්තා ආයේ නම් කවදාවත් ඒ වගේ ගමනක් යන්නෑ කියලා. ඊට පස්සෙ මට කෝල් කරලා කරලා අද උදේ ගෙන්න ගත්තා. එදා වෙච්ච දේට සමාව ගන්ට ඕනෙ කියලා තමා ගෙන්න ගත්තෙ. මම කිව්වා ෆෝන් එකෙන් සමාව ගත්තම ඇති කියලා. ඒ පාර කිව්වා, නෑ පැටියො ඔයාගේ ලස්සන ඇස් දෙක දිහා බලාගෙන සමාව නොගත්තොත් මට නින්ද යන්නෑ කියලා. ඒ පාර අවසාන වතාවට කියලා අද ගියේ. අදත් එළියෙ මේසෙට වෙලා කූල් ඩ්‍රින්ක් එකක් බිබී එයා සමාව ගත්තා. ඊට පස්සෙ කිව්වා ආයෙ කවදාවත් කතා කරන්නෑ. ෆෝන් කරන්නෑ. එක විනාඩි දෙකකට රූම් එකකට යමු කියලා. මම ඇහුවා මොකටද කියලා. මගේ අත් දෙක අල්ල ගෙන ඇති තරම් අඩලා සමාව ගන්ට ඕනේ කියලා, එයා ලස්සනට එහෙම කියලා රඟපෑවා අම්මේ. මම නැතිව වෙන කෙල්ලෙකුට එහෙම දෙයක් වුණා නම් අනිවාර්යෙන්ම ඇතුළට යනවා. ඒත් මම දැන ගත්තා එයා කරන්නෙ බොරුවක් කියලා. මම ගොඩක් පත්තර පොත් පත් කියවන කෙල්ලෙක්. සමාජය ගැන මට අත්දැකීම් නැතිවට සමාජයේ වෙන දේවල් මම දන්නවා. කොටින්ම මම එයා දෙන කූල් ඩ්‍රින්ක් එක පවා මම බොන්නෙ එයා බොනකල් ඉදලා එයාගේ වීදුරුව මගේ එකට මාරු කරලා. මම එහෙම කරේ නින්ද යන්ට පෙති කලවම් කරලා ඇති කියලා. මම අද රූම් එකකට යන්ට කොහෙත්ම බෑ කියලා රණ්ඩු වෙලා එන්ට පුටුව පස්සට අදින කොට තමයි ශානිකා ඇන්ටි කවුදෝ බඩ තඩි මිනිහෙක් එක්ක ත්‍රීවීල් එකකින් බැහැලා ඇතුළට ගියේ.”

“ඒ කියන්නෙ උඹට මොනවත් වෙලා නෑ.”

“නෑ අම්මා නෑ.”

“උඹට හොදටම විශ්වාසද?”

“ඔව්. ඔව්. මට හොඳටම විශ්වාසයි. අම්මට සැක නම් මාව ඩොක්ටර් කෙනෙකුට පෙන්නන්ට.”

“ඒ වුණාට උඹ කරලා තියෙන්නෙ බොහොම භයානක වැඩක්. ඔය මිනිහට නැතිව වෙන එකකුට හම්බුනා නම් උඹේ කෑලිවත් ඉතිරි වෙන්නෑ.”

“ඒවා කොහෙද මාත් එක්ක... අම්මා, මම දන්නවා මේ ෆෝන් එක තමයි සේරටම මුල. මම විද්‍යාව පංති යනකොට සර් මගේ ළඟට ඇවිල්ලා කිව්වා පාඩම් කරන කොට නොතේරෙන දේවල් තියෙනවා නම් කෝල් කරලා අහගන්ට කියලා... සර් තමයි කොළයක අංකයක් මට ලියලා දුන්නෙ. මම මුලදී කතා කරේ ඇත්තටම අමාරු දේවල් අහගන්ට. ඒත් සර් ටිකෙන් ටික වැරදි දේවල් මගේ ඔළුවට දානවා කියලා තේරුණා. මගේ ෆෝන් එකට සර් එක එක ජරා පින්තූරත් එව්වා. මම ඒවා බලලා ‘චී... සර් මොනාද එවලා තියෙන කැත පින්තූර’ මම ඒවා ඔක්කොම මකලා දැම්මා කියලා බොරුවට කියනවා. ඒ විදියට මාස ගණනක් ගියාට පස්සේ තමා කිව්වේ ලන්ච් එකකට යමු කියලා. කොහොමත් මම ආයේ ඒ සර් එක්ක කිසිම කතාවක් කරන්නෑ. හැබැයි ඒ අම්මා කියපු හින්දා නෙමෙයි. මට ම තේරුම් ගිය නිසා.” දියණිය ගස්සමින් කීවාය.

“අනේ මෙහෙමත් මුරණ්ඩු කෙල්ලො... යැයි කියූ මව කම්මුලේ අත තබා ගත්තාය. “ඒ ජරා මිනිහා ඔයාගෙ ෆෝන් එකට නරක පින්තූරත් එව්වද?”

“පින්තූර විතරක් නෙමෙයි අම්මා විනාඩි දෙක තුනේ චිත්‍රපටිත් එව්වා?”

“ඉතිං උඹ හීමිච්චි වගේ ඉදගෙන ඒවා බැලුවා!”

“ඉතිං... මම බැලුවා තමා. පාඩම් කරලා නිදිමත එනකොට ඒවා එකක් දෙකක් හොරෙන් බලනවා.”

“අනේ අම්මපා උඹේ කට අල්ලලා උලන්ට හිතයි බිම.” කියූ මව ඇදෙන් නැගිට්ටාය. “කොහොමත් මීට පස්සේ ෆෝන් එපා.” මව දැඩිව කීවාය.

“කොහොමද අම්මා එහෙම කරන්නේ. දැන් මේක අපේ ඇඟට බද්ධ වෙලා ඉවරයි. අම්මා... මිනිස් සිරුරේ ඇට 206ක් තියනවා. දැන් ඒ ඇට 206 ට අලුත් ඇටයක් එකතු වෙලා. ඒක තමයි ජංගම දුරකථන ඇටය. ඉතිං මේ ඇටේ නැතිව අපිට දැන් ජීවත් වෙන්ට අමාරුයි.” එසේ කියූ දියණිය හක-හක ගා හිනා වෙන්නට පටන් ගත්තාය.

“අනේ මෙච්චර දේවල් වෙලත් මේකිට කිසි ගාණක් නැති හැටි! දැන් කාලේ හැදෙන එවුන්.” යැයි සිතමින් මව කාමරයෙන් එළියට පියවර මැන්නාය.

අවුරුදු විස්සකට කලින් රාගයෙන් රට මෝරා නොතිබුණ යුගයක තමා පිරිමියෙකු අතින් විනාශ වුණත් රාගයෙන් රට පිරිච්ච වර්තමානයේ තම දියණිය පිරිමියෙකුට අසු නොවීම ගැන අම්මාගේ හිතට මහා සහනයක් ගෙන දුන්නේය. එසේ වූවේ කුඩා කල සිටම දියණිය පත්තර පොත් පත් කියවීම නිසා බව ඇයට ඒකාන්තයෙන්ම තේරුම් ගියේය. මෙහි ගෞරවය හිමිවිය යුත්තේ තම සැමියාට නොවේද? මොන තරම් මුදල් අගහිඟකම් තිබුණත් මාසික වේතනයෙන් සිංහල පොත් දෙකක් සහ ඉංග්‍රීසි පොතක් මෙන්ම සියලුම ඉරිදා පත්තරත් ගෙන එන තම සැමියාගේ රූපය කඳුළු අතරින් ඇගේ දෙනෙතට මැවී පෙනුණි.

Nissanka Rajapaksa

unread,
Jul 12, 2024, 8:40:09 PM7/12/24
to INDRAKA group
3
නිරෝෂිනී ගේ අවසන් බැල්ම....... 

- MANJULA SENARATNE

මේ කියන දවසට පෙර දින අපි දෙදෙනා අතර සඳහන් කල යුතු විශේෂ සිදුවීමක් සිදු වුනේදැයි ඔවුන් මගෙන් ඇසුහ. එවැන්නක් නැතයි මා කියූ විට ඔවුන් මා දෙස බලා සිටියේ මගේ මුවින් පිට වන කිසිදු වදනක් විශ්වාස නොකරන්නාක් මෙනි. මා ඔවුන්ගේ සැකයට භාජනය වී සිටි එකම තැනැත්තාය.

මේ කියන දවසට පෙර දින රාත්‍රියේ අපි දෙන්නා මනෝහාර කාමෝත්සවයක ගැලුනෙමු. අපේ මේ රති මංගල්‍යයේ එක් මොහොතක ඇගේ රූමත් මුහුණ දෝතට ගත් මම අඩවන් දෙනෙත් වලට එබුනෙමි. විවාහ වී පස් වසරක ගතව තිබෙනා මේ මොහොතේ පවා එකිනෙකා සිරුරු වල රස සොයා යාමේ රුචිය අප අතරේ නොමැරී පැවතීම ගැන මට ඇති වුයේ උද්දාමයකි.  

පසුදා ඉරිදා උදෑසන දෙනෙත් විවර කරද්දී, ඇය , එනම් නිරෝෂිනී, එනම් මගේ බිරිඳ යහනේ සිටියේ නැත. නිවාඩු දවස් වලදී පවා මට කලින් අවදිවීම ඇගේ පුරුද්දයි. මුළුතැන්ගෙයින් පිටවී, කොරිඩෝව හරහා පැමිණ නිදන කාමරයට ඇතුල් වුනු කෝපි සුවද මගේ මනස පිපාසයෙන් පුරවාලීය . ලයනල් රිචි ගේ පැරණි ගීතයක් පැමිණ සවනට ඇතුළු වුණු පසුව මම යහමින් දෙනෙත් විවර කළෙමි .

Know it sounds funny but, I just can't stand the pain
Girl I leaving you tomorrow......
Oh that's why I'm easy
I'm easy like sunday morninig.... 

මේ ගීතයේ easy like sunday morninig.... යන වදන් වැල කොතරම් අගනේදැයි මට ඒ මොහොතේ සිතුණි. සිතුවිල්ල බිඳ දමමින් යහනට ගොඩ වුණු ඇය ස්නානයෙන් පසුව දිය බිඳු රැදුණු දිගු කෙස් වැටියෙන් මගේ මුහුණට දමා ගැසුවාය. මගේ වත ඇපල් සුවඳ හමනා අගේ කේශ වනයේ සැඟවුණු විට පීච් රසැති තෙත හාදුවක් දෙතොල මත පතිත විය. මම දෙනෙත් විවර කලෙමි.
"වස්තුව... ජෑම් පොඩ්ඩක්වත් නැහැ...මං ටක් ගාල ගිහින් අරන් එන්නං ...." ඇය කීවාය 
"එපා දැන් යන්න... ඔය තියන දෙයක් හොදයි.. අද ඉරිදා කඩ වහලා..."
"පල්ලෙහා පොඩි කඩේ ඇරලා... ඔයා තව ටිකක් ඔහොම ඉන්නකෝ...." වෙන කිසිදු විරුද්ධත්වයක් දක්වන්නට මට ඉද නොදුන් මගේ සුන්දර ගැහැනිය කාමරයෙන් පිට වන්නට ගොස්, ආපසු හැරී මදෙස බැලුවාය. ඒ බැල්ම මට අමතක නොවේ. එය වනාහි කිසි දිනක ඇගේ දෙනෙතේ නොරැඳුනු නොතේරෙන බැල්මකි. එහි තැනක සන්තාපය රැඳී තිබෙන්නට ඇත. එහෙත් ඇය සිනහසුනාය. එය දුක්බර සිනහවකි. ඇසිපිය නොහෙලා තත්පර කීපයක් මදෙස බලා සිටීමෙන් අනතුරුව හාදුවක් සුළගේ පා කර එවූ ඇය කාමරයෙන පිට වුවාය. එය නිරෝෂිනී ගේ අවසන් බැල්මයි.

 යහනින් බස ගෙන නාන කාමරයට ඇතුළු වුනු මම පෙරදා රැයේ රති හැව සෝදා දැමුවෙමි. කෝපි මැෂිමෙන් කෝප්පයක් වත් කර ගෙන සාලයේ සැප පුටුවෙහි වාඩි ගත් මගේ නිරීක්ෂණයට ප්‍රථමයෙන්ම හසු වුයේ නිවසේ විදුලිය ඇනහිට ඇති බවයි. රූපවාහිනිය දැල්වුනේ නැත. නිවස පුරා දැඩි නිහැඬියාවකි. නිරෝෂිනී පිටව ගොස් විනාඩි විස්සකට වැඩි කාලයක් ගතව තිබුණු නිසා අගේ ජංගමය අමතනා විටදී එය නිදන කාමරය දෙසින් එය නාද වනු ඇසුණි. නිවසින් පිටව යද්දී දුරකතනය රැගෙන ගොස් තිබුනේ නැත. සත්‍ය වශයෙන්ම නිරෝෂිනී කිසිවක් රැගෙන නොගියාය. ඇය පිටව ගියේ හැඳ සිටි ඩෙනිම් කලිසම සහ පහසු කුර්තාව සමගිනි. විනාඩි තුනකින් විදුලිය යළි පැමිණියේය. එහෙත් මගේ බිරිඳ පැමිණියේ නැත.

පැයක් ගතවූ තැන පිටත බැස ගත් මම ඇය කියූ කුඩා සුපිරි වෙළද සැලට ගොඩවීමි. මගේ ජංගම දුරකතනයේ ඇති නිරෝෂිනී ගේ පින්තුරය පෙන්වා ඇය මොහොතකට පෙර එහි පැමිණියේදැයි අරාබි ජාතික තරුණයාගෙන් අසද්දී ඔයු පිළිතුරු දුන්නේ කිසිදු උවමනාවකින් නොවේ. සිතේ ඇතිව තිබුණු නොසන්සුන් බව මග හරවා ගැනීමට දුම් වැටියක් දල්වා ගත් මම සිදුවිය හැකි සියලුම විකල්පයන් සිතේ මවා ගතිමි. ඇය වෙනත් කඩයකට ගියා වන්නට පුළුවන. අතරමගදී මිතුරියක හමුවී කතා බහට පැටලී ගෙවී යන කාලය ගැන වැටහීමක් නොතිබුනා විය හැකිය. එසේ නැතිනම් ඇයට අනතුරක් වුනාද....?     

නිරෝෂිනී ගේ අතුරුදහන් වීමෙන් ගෙවී ගිය මුල් පැය කීපය මා ගත කලේ කෙසේදැයි මතකයක් අද මට නොවේ. මගේත්, මගේ බිරිඳගේත් ජංගම දුරකතන දෙක ලඟ තබා ගෙන ඒවායේ මුසල මුහුණත වෙතින් දෙනෙත් ඉවත් නොකර මරා දැමූ කාලය පැය තුනකට වැඩි විය යුතුය. සාමාන්‍යයෙන් ඉරිදාට යහමින් නාද වන දුරකතන එදා නාද නොවිණ. සවස තුනට පමණ ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ වසා ඇති මහා දොරට මා තඩි බාද්දී වේගයෙන් මදෙසට පැමිණි පොලිස් කාරයෙක් කේන්තියෙන් මදෙස බල සිටියේය. මගේ කතාව මම කීමි . හඬන්න ලංව ඇති මගේ ස්වරයේ රිද්මය මැනවින් හඳුනා ගත් පොලිස් කාරයා මට දොර විවර කළේය. නිරන්තරයෙන් ජනයාගෙන් පිරී යන ශාලාවේ මා තනිකර පළමු මහලට නැග ගිය ඔහු යලි පැමිණියේ සුභ ආරංචියක් සමගින් නොවේ.  

මේ කියන දවසට පෙර දින අපි දෙදෙනා අතර සදහන් කල යුතු විශේෂ සිදුවීමක් සිදු වුනේදැයි ඔවුන් මගෙන් ඇසුහ. එවැන්නක් නැතැයි මා කියූ විට ඔවුන් මා දෙස බලා සිටියේ මගේ මුවින් පිට වන කිසිදු වදනක් විශ්වාස නොකරන්නාක් මෙනි. මා ඔවුන්ගේ සැකයට භාජනය වී සිටි එකම තැනැත්තාය.

මේ කියන දවසට පෙර දින අපි දෙදෙනා අතර සඳහන් කල යුතු විශේෂ සිදුවීමක් සිදු වුනේදැයි ඔවුන් මගෙන් ඇසූහ. සාමාන්‍ය ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරින් තිදෙනෙකු සහ නිලධාරිනියක් නිවසට පැමිණ මේ ප්‍රශ්නය මගෙන් විමසනා විට මා සමග සිටියේ මගේ හොඳම මිතුරා රජු සහ ඔහුගේ බිරිඳ ශාලනි පමණි. පැයකට ආසන්න කාලයක් ඔවුන් විවිධ මාදිලියේ ප්‍රශ්න මා වෙත එල්ල කළහ. ඔබට නීතිඥක් උවමනාද...එක් මොහොතක නිලධාරිනිය ඇසුවාය. අපි එකිනෙකාගේ මුහුණු බලා ගතිමු. "මගේ බිරිදගේ අතුරුදහන් වීමට මම සැක කාරයෙක්ද....?" මම ඇසුවෙමි.
"නීතිඥයෙක් උවමනා වන්නේ ඔහුව අත් අඩංගුවට ගත්තොත් නේද...? එහෙම තත්වයක් දැන් මෙතන තියනවාද..?" රාජු ඇසුවේය. නිලධාරින් සිව්දෙනාම කිසිවක් නොකියා තවත් බරපතල ප්‍රශ්නයක් මවෙත දිගු කළහ.
"ඔබ කොතරම් දුරට ඔබේ බිරිඳව හඳුනනවා ද.....?" මේ ගැඹුරු ප්‍රශ්නය හමුවේ සසල වුණු මගේ මුවින් වදන් පිට වුයේ නැත. අප දෙදෙනා හඳුනාගෙන ගත වෙමින් තිබුණේ හත් වන වසරයි. විවාහයේ පස් වන වියයි. අපි දෙදෙනාට තිබුනේ එක ජීවිතයකි. එකිනෙකාගේ ජිවිත වල සෑම අංශු මාත්‍රයක්ම අපි දැන සිටියෙමු. අපි අතරේ කිසිදු රහසක් නොවිණ. මම හොඳ ප්‍රේමවන්තයෙක්මි. මම පරිපුර්ණ මිනිසෙක් යැයි බොහෝ දෙනා කිහ. මා වැනි ස්වාමියෙකු ලබන්නට පෙර පිං කර තිබිය යුතුය යන වදන් පිට වුයේ නිරෝෂිනී ගේ මුවින්මය. එහෙත් මගේ බිරිඳගේ මනසේ සතර දිසාවට දිව ගිය සිතුවිලි මොනවාදැයි මම නොදැන සිටියෙමි. නිවාඩු දිනයක උදැසන අවදි වෙද්දී යහන අසල පුටුවක වාඩි ගෙන මදෙස බලා සිටිනා ඇයව දකින විට මොකද මං දිහා බලා ඉන්නේ යැයි ඇසුවෙමි. පිළිතුරු දෙනු වෙනුවට ඇය කලේ යහනට ගොඩ වී මගේ තුරුලට ඇතුල් වීම පමණකි. ඇතැම් හිම වැටෙන දිනක, ඇතැම් සුළං වැසි දිනක, ග්‍රීෂ්ම හිරු බැබලෙන දිනක ඇය කල්පනානිග්නව කවුළුවෙන් පිටත බලා සිටිද්දී ඔයා මොනවා ගැනද කල්පනා කරන්නේ මම ඇසුවෙමි. යන්තම් සිනහවක් පා මගේ සිරුරට තුරුළු වන්නී කිසිවක් නොදොඩා සිටියාය. ඉදින් මම නිධාරියාගේ ප්‍රශ්නය හමුවේ නිරුත්තර වීමි. මගේ බිරිඳ කවුරුන්දැයි සත්‍ය වශයෙන්ම මා නොදැන සිටියා විය යුතුය.
කීප වාරයකම පොලිස් ස්ථානයට වාර්තා කරන්නට මට සිදුවිය. මගේ බැංකු ගිණුම් වාර්තා, දුරකතන ඇමතුම්, ගෙවුණු මාස හයක කාලය ඇතුලත මගේ ක්‍රියාකාරකම් යනාදී සියල්ලම පොලිස් පරීක්ෂකයන්ගේ විමසිල්ලට ලක්වී ඇති බව මම වටහා ගතිමි. "කොයි වෙලාවක හරි උන් ඇවිත් උඹව ඇරෙස්ට් කරයි. අපි ලෝයර් කෙනෙක් අල්ලමු...." රාජු කීප වරක්ම කිවත් මම ඒ අදහසට අකමැති වීමි. ස්වයං පාලනයෙන් තොරව සිදුවන මගේ ක්‍රියාකාරකම් ගැන දැවුණු සිතින් මිතුරෝ බලා සිටියහ. කල යුත්තේ කුමක්දැයි නොදන්නා නිසා ඔවුන් කලේ මගේ තුන් වේල ගැන සැලකිලිමත් වීම පමණි. එහෙත් මගේ කුසට නොවැටුණු ඒ අහර වැටුණේ කුණු බාලදියටයි. වසර දෙකක් GYM ගොස් බස්සවා ගන්නට නොහැකි වුණු කිලෝ 12 ක් මගේ බිරිඳගේ අතුරුදහන් වීමත් සමග අතුරුදහන් විය. දෙවසරක් ගතව යද්දී, මගේ සොඛ්‍ය තත්වය හැරෙද්දී පොලිස් පරීක්ෂකවරු තමන්ගේ සැකයෙන් මා නිදහස් කළහ. නිරෝෂිනී අවසන් විනාඩි කීපය ගැන මා දැනුවත් වූයේ ඒ අයුරිනි.   

මාර්ගයේ සවිකර තිබුණු කැමරා වල සටහන් වුනු රූප අනුව ඉරිදා උදේ 10.11 ට ඇය ගොඩනැගිල්ලෙන් පිටවෙයි. කුඩා වෙළඳ සල අසල නොනැවතී පදික වේදිකාව දිගේ මාර්ගය අවසාන වන තෙක් ඇවිද යන ඇය 10.18 ට එහි පාර්මසිය ඉදිරියේ නවතියි. ඒ මොහොතේම විදුලිය ඇනහිටි නිසා තවත් විනාඩි කීපයක් යනතුරු කිසිදු රූපයක් නොමැත. යලි රූප පන ගැන්වෙද්දී නිරෝෂිනී අතුරුදහන්ව සිටියාය. බස් රථයක, උමං දුම්රියක, දුම්රිය ස්ථානයක, ගුවන් තොටුපලක කැමරාවක ඇගේ සටහනක නැත. ඇය වාෂ්ප වී ගියාක් බඳුය.
"කොහොමද හරියට මේ නිශ්චිත වෙලාවෙම විදුලිය ඇන හිටියේ.....?" පොලිස් කාරයන්ගෙන් මම ඇසුවෙමි.
" මේ ඇනහිටීම කලින් ඉදන් දැනුම් දුන්න එකක්. මේ ගැන ඔබේ ගොඩනැගිලේ පහල මාලයේ දැන්වීමක් අලවලා තිබුණා. මෙහිදී අපිට සිතා ගන්න බැරි දෙයක් සිද්ධ වෙලා තියනවා. ගොඩනැගිල්ල ඇතුලේ කමරාවට හසු වෙලා තියනවා ඔබේ බිරිඳ වතාවන් දෙකකදී මේ දැන්වීම් ඉරලා දානවා. විදුලි ඇන්හිටීම ගැන අනෙකුන් දැන ගන්නවා ට ඇය අකමැති උනා වාගෙයි. විශේෂයෙන් ඔබ දැන ගන්නවට ..."
"ඔබලා කියන්නේ ඇගේ අතුරුදහන් වීම ඇය විසින්ම සංවිධානය කර ගත්තා කියලද...?"
"සමාවෙන්න මේක දරා ගන්න බැරි දෙයක් වෙන්න පුලුවන්. අපි හිතනවා ඇයට වෙන ප්‍රේම සම්බන්ධයක් තිබෙන්න ඇති. ඔබට නොකියා ඔබගෙන් වෙන් වෙන්න හිතා ගෙන හිටපු ඇය මේ අවස්තාව ඒ සදහා තෝර ගන්න ඇති...."
 එහෙත් නිරෝෂිනී වෙනත් ප්‍රේම සම්බන්ධයක පැටලී සිටියා යැයි සිතා ගන්නට මට නොහැකිය. කිසිදු අනුමානයක් නොතබා එවැනි සංකීර්ණ කාරයක නිරත වන්නේ කෙසේද...?
"ඔබ පිරිමියෙක්. මමත් පිරිමියෙක්. අපි වෙන ගැහැනියක් ඇසුරු කලොත් ඒක අපේ බිරිඳට තේරෙනවා දවස් කීපයක් යද්දී. ඒත් ගැහැණු ඒ වගේ නෙමෙයි. ඔවුන් අනියම් සම්බන්ධයක පැටලෙන්නේ හොඳින් හිතා බලලා. ඒ අනුවන කාර්යය ඔවුන් කරන්නේ බොහොම බුද්ධිමත්ව හිතා බලලා ..." නිලධාරියා කීවේය.

ජීවිතය යළිත් අතට ගන්නට මම තීරණය කලෙමි. මගේ බිරිඳ නාඳුනන පිරිමියෙකු සමග සබඳකමක් තිබුණු බව පොලිස් කාරයා කී මොහොතේ මගේ පැවැත්ම වෙනස් විය. නිවසට පැමිණි මම නිරෝෂිනී සතු සියලුම දේ පෙට්ටි වල අහුරා, මලු වල දමා සුභ සාධන ආයතනයකට ගෙනගොස් දුනිමි. ඇගේ ආභරණ, සුවඳ විලවුන් වැනි වටිනා දේ තමන්ට දෙන මෙන් මිතුරන්ගේ බිරින්දන් ඉල්ලා සිටියහ. මිතුරෝ එක් ඉරිදාවක සාදයක් සංවිධානය කළහ. මිතුරෙකුගේ තරුණ දියණියක් SURVIVOR ගීතය ගැයුවාය 

Now that you're outta my life, I'm so much better
You thought that I'd be weak without ya, but I'm stronger
You thought that I'd be broke without ya, but I'm richer
You thought that I'd be sad without ya, I love harder
 
එහෙත් මගේ බිරිඳ අමතක කරන්නට මට නොහැකි විය. ඇගේ අවසන් බැල්ම අමතක කරන්නට මට නොහැකි විය. ඒ බැල්මේ රැඳී තිබුණු සිතුවිලි විසඳා ගන්නට මම තවත් වසර දෙකක් ගත කළෙමි. අන්තිමේදී නිරෝෂිනී ගේ අතුරුදහන් වීමෙන් පස් වසරකට පසු එනම් පසුගිය මැයි මාසයේ ඔවුහු මා සොයා පැමිණියහ. සිදුව ඇති දේ දැන් ඔවුහු දනිති. මගෙන් ප්‍රශ්න නොකළ ඔවුහු පිළිතුරු මා ඉදිරියේ තැබූහ.  

සිදුව ඇති දේ තේරුම් ගැනීමට, වටහා ගැනීමට මා හට නොහැකි වනු ඇතැයි ස්වදේශීය කටයුතු අමාත්‍යංශයේ නිලධාරියා කීවේය. ඔහු සමග සිටි අනෙක් තැනැත්තා ප්‍රංශ රහස් පොලිසියේ අයෙකි. තෙවන තැනැත්තා බාහිර ආරක්ෂා කටයුතු සේවයේ (DGSE ) අයෙකි. මේ සියලුම දෙනා මගේ නිවසේ සාලයේ මට මුහුණ දී වාඩි ගෙන සිටියහ. 

ඔවුන් මා හමුවේ පවසන කතාව අදහා ගත නොහැකි බව මම කීමි. එය සිදු විය නොහැකිය. මීට මාස හයකට පෙර සිරියාවේ Manbij ප්‍රදේශයේ සිදුකරනා ලද ප්‍රංශ හමුදා ප්‍රහාර වලදී මියගිය 21 දෙනෙකු අතරේ තිබී නිරෝෂිනී ගේ දේහය ද හමුවී තිබේ. මූලික හඳුනා ගැනීම් වලින් පසුව හමුවුණු ප්‍රංශ හැඳුනුම් පත නිසා ඇගේ දේහය ප්‍රංශයට ගෙන එන ලදී. තවත් මාස කීපයක තිස්සේ කරනා ලද සොයා යාම් වලින් පසුව වුවද සිරියාවේ මේ කියනා ප්‍රදේශයේ ඇය යෙදී සිටියේ කුමනාකාරයේ කාරියකදැයි කිසිවෙක් නොදනිති. 
"ඔබේ බිරිඳ පැරිසියේ දී සේවය කලේ කප්ලාන් නැමති මහලු යුවල වෙනුවෙන් නේද..? පැරිස් 17 හි ඔවුන්ගේ තට්ටු නිවාසය පහල තිබෙනවා මස් කඩයක්. මෙහිදී ඇයට හමුවී තිබෙනවා මොහොමඩ් අල් හාවන් නැමති වයස අවුරුදු 35 ක් අයෙක්. ඔහු දැඩි ඉස්ලාම් භක්තිකයෙක්. ආගමික ක්‍රියාකාරකම් නිසා කීපවරක්ම රජයේ ඇසට ලක් වුණු අයෙක්. ඔහු විසින් තමයි ඔබේ බිරිඳගේ මනස වෙනස් කරලා තියෙන්නේ. අපි තවමත් දන්නේ නැහැ අවුරුදු පහකට පෙර මේ කියන ඉරිදා දිනයේ ඇය කෙසේ අතුරුදහන් උනාද කියලා. පැරිසියේ ඉඳන් සිරියාව දක්වා ගිය ගමන කෙසේ සිදු උනාදැයි අපි දන්නේ නැහැ. නමුත් අපි දන්නා දේ තමයි සිරියාවේදී ඔබේ බිරිඳ මේ කියන මොහොමඩ් අල් හාවන් සමග විවාහ වුණු බව. ඔවුන්ට දරුවන් දෙදෙනෙක් ඉඳලා තියනවා. අවුරුදු තුනයි. අවුරුදු දෙකයි....."

මම සාලයේ ඒ මේ අත ඇවිද ගියෙමි. මා වටා භ්‍රමණය වන ලෝකය නවතා ලන්නට මගක් සෙවීමි. සිරුර ගිනි ගෙන දැවෙන්නට වූ නිසා සුළං පොදක් සොයා කවුළුව විවර කලෙමි. එක් නිලධාරියෙක් මා අසලට පැමිණ උරහිසට අතක් තැබුවේ මගේ අවධානය වෙනතකට ගනු සඳහා විය යුතුය. "කෝ එතකොට මේ කියන මොහොමඩ්.. කෝ ළමයි දෙන්නා...?"
"මොහොමඩ් අල් හාවන් මීට අවුරුද්දකට පෙර සටනකදී මිය ගියා. දරුවන් දෙන්නා මේ මොහොතේ ඉන්නේ තුර්කියේ, අන්කාරා නගරයේ විශේෂ රෝහලක...."
"නිරෝෂිනී කොහොමද මේ වගේ දෙයකට හවුල් වෙන්නේ..? ඇයට හැම දෙයක්ම ජීවිතේ තිබුනා. අපි හරිම ආදරෙන් සතුටින් හිටියේ. අපි දෙන්න දරුවන් හදන එක පරක්කු කලේ ජිවිතේ තව රස විදින්න ඕන නිසා.." 
"ජයකොඩි මහත්මයා.. අද දවසේ මේ තත්වයට පත් වන කෙනා එහෙම වෙන්නේ ජිවිතේ බොහෝ දේවල් අහිමි වුණ නිසා නොවෙයි. සිදු විය යුත්තේ නරක වෙලාවක නරක මිනිහෙක් හමුවීම පමණයි. ඔබේ බිරිඳට සිදු වුණේ එයයි... මොහොමඩ් අල් හාවන් මුණ නොගැසුනා නම් අද තවමත් ඇය මේ නිවසේ. මේ පුද්ගලයෝ දන්නවා කොහොමද තවත් අයෙකුගේ මනස සෝදා දමන්නේ කියලා. ඔවුන් ඒ සඳහා විශේෂ පුහුණුව ලබපු අය. මේ වගේ අතුරුදහන් වීම් අද ප්‍රංශයේ විටින් විට සිදු වෙනවා. පුතුන්, දූවරු, දෙමාපියන්ට නොකියා අතුරුදහන් වෙනවා... ඇත්තම කියනවා නම් බිරිඳක් තම සැමියාට නොකියා අතුරුදහන් වුණු පළමු අවස්ථාවයි මේ.."

තවත් දින කීපයකට පසු පැරිස් මහ පොලිසියට සම්බන්ධිත මෘත ශරීරාගාරයේදී මම මගේ බිරිඳගේ මුහුණ අවසාන වරට දුටුමි. අගේ වත අවසන් වරට ස්පර්ශ කිරීමේ උවමනාව මට ඇතිවිය. අවසන් කාලයේදී නාදුනන පිරිමියෙකු විසින් සිප ගත්, එහෙත් දිගු කලකට පෙර මට අයිතිව තිබුණු අගේ පිච් රසැති දෙතොල් සිප ගැනීමට මට සිතුණි. එහෙත් නිරෝෂිනී ගේ සිරුර ප්‍රංශ රජයට අයිතිය. ඒ සිරුරට අත තැබීමේ අයිතියක් මට නොවිණ.

ඇගේ අවසන් බැල්ම මට මතකය. පෙර දින රාත්‍රියේ අපි දෙන්නා ගැලුණු කාමෝත්සවයේ රඟ මට මතකය. ඇගේ වත දෝතට ගත් මම අපේ ජිවිතයේ සරුසාර බව ගැන උදම් අනුවෙමි. පසුදා උදෑසන නිවසින් පිටව යන්නට පෙර නිරෝෂිනී මදෙස බලා සිටියාය. ඇය හාදුවක් සුළගේ පා කර එව්වාය. 

ඇලන් මොන්මේ නැමති පොලිස් අධිකාරිවරයා මා සමග මෘත ශාරිරාගාරයෙන් පිටවිය. පසුගිය දින කීපය පුරාම මා සමග ගනුදෙනු කර ගත් ඔහු දැන් මගේ සමීප මිතුරෙකු බඳුය. අනාගතයේ හමුවන ඕනෑම ගැටලුවක් වෙනුවෙන් තමාව අමතන මෙන් ඔහු කියා සිටියේය. ගෙවුණු කාලය අපහසු එකකි. ඔබ තවමත් තරුණය. ජීවිතය යලිත් වරක් සුරතට ගැනීමේ හැකියාව ඔබට තිබේ. බුද්ධිමත්ව ජිවිතයට මුහුණ දෙන්නේ නම් එය ජය ගැනීමේ හැකියාව ඔබට තිබේ. ඔහු කීවේය.

දින කීපයක් ගෙවී ගිය තැන ජීවිතය බුධිමත්ව ගෙවා ගත හැකි මං මාවත් මම සෙව්වෙමි. එවැන්නක් සොයා ගැනීම අපහසුය. ඔබේ ජිවිතයෙන් හරි අඩක් අහිමි වූ විට මනස් පාලනය සොයා ගත නොහැකිය. එහෙත් එය මට හමුවිය. යලිත් වරක් ජීවිතයට අරුතක් එක් කර ගත හැකි මගක් මම සොයා ගතිමි. එක දිනක ඇලන් මොන්මේ ඇමතූ මම මෙසේ ඇසුවෙමි .

"නිරෝෂිනී ගේ කුඩා දරුවෝ දෙන්නා ඉන්නේ කොහෙද...? මට එයාලගේ......"
             

                       ............................................


Nissanka Rajapaksa

unread,
Jul 13, 2024, 9:12:03 PM7/13/24
to INDRAKA group
4
මීයා

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 

Translation of the short story ‘The Rat’ by Ashokamitran translated from tamil to English by Vasantha Surya

From the book ‘Short fiction from South India’ (2008)-  Oxford University Press

තම නිවසේ වෙසෙන ගැහැනුන් රාත්‍රී දෙකක් තිස්සේ නොකඩවා එක ලෙසම කටයුතු කිරීම ගැන ගනේසන් ට දැනුණේ කේන්තියකි. එදිනත් රාත්‍රී ආහාරයෙන් පසු කිසිම කෑම කැබැල්ලක් ඉතුරු නොවන සේ ඔවුන් මුළුතැන්ගෙය පිරිසිදු කර නින්දට ගොස් තිබිණි.

මොවුන් ට මේ ගැන අවබෝධයක් නොමැති වීමට ඉඩ නැත. තම සොයුරියට වයස පනහට වැඩි ය. බිරිඳ ට හතළිහකට ආසන්න ය. දියණියට ළඟදීම දහතුන් විය එළඹෙනු ඇත. එහෙත් කුස්සියේ එකම තෝසේ කැබැල්ලක්, අප්පලමක් හෝ පොල් ඉරුවක් දක්නට නොවිණි.

ඉතින් මීයාට උගුල් අටවන්නේ කුමකින් ද?

“උඹලා බම්බු ගහගනිල්ලා!” තමන්ටම මුමුණා ගත ගනේසන්, නිදන්නට ගියේය. 

රෙදි වනන්නට යොදාගැනෙන උණ බම්බුව යන්තමින් සෙලවෙනු ඔහුට ඇසුණේ ඔහු නින්දට ගොස් පැය බාගයක්වත් ගතවන්නට පෙර ය.  මීයා එහි යට අත ඔස්සේ ඇවිදිමින් සිටියේය. තවත් විනාඩි දෙකක් යද්දී උණ බම්බුව තවත් සෙලවෙනු ඇසුනි.  ඒ වෙද්දි මීයා එහි මතුපිටට නැග තිබුණි.  ඉනික්බිති ඇසුණේ තඹ පලංගනාවක් බිත්තියේ ගැටෙන හඬකි. මීයා සොල්දරයට නැග තිබුණි.  සර සර හඬින් කියවුණේ ඌ  පරණ පත්තර ගොඩක් මතින් ඇවිද යන බවයි. 

“දඩස්!”

මීයා සොල්දරයේ සිට ලී අල්මාරිය මතට පනිද්දී ඒ මත ඇති පැරණි ටින් බෙලෙක්ක පෙරලී යන හඬක් ඇසේ. ඉන්පසු එතැනින් ඌ ඇණයකින් බිත්තියේ එල්ලා ඇති කුඩා රාක්කය මතට පනී. ඉනික්බිති පැතිරෙන්නේ මද නිහැඬියාවකි. එහෙත් ඒ සන්සුන් බව බිඳිමින් කුමක් හෝ මහා හඬින් පෙරළෙනු ඇසේ. ගනේසන් සහ බිරිඳ අවදි වී, විදුලි බුබුල දල්වා වටපිට බලද්දී දුටුවේ මීයා විසින් තෙල් බඳුනේ පියන පෙරළා ඇති බවයි. 

ගනේසන් දත් මිටි කමින් සිය බිරිඳට රවාගෙන සිටිද්දී ඈ නිදිමතින්ම තෙල් බඳුන කූඩයකින් වසමින් සිටියාය. 

“මම හැමදාම ඔහෙට කියනවා මොනවා හරි කෑම ඉතුරු කරන්න කියලා මී උගුලට තියන්න. එහෙම කියලා තියෙද්දීත් ඔහේ කිසිම දෙයක් ඉතුරු නොකර කුස්සිය අස් කරලා දානවා!”

“මොනවා තියන්නද? මීයාට කියලා රසම් හැන්දක් තියන්නද මට කියන්නේ?එහෙම නැත්තම් උප්පුමා ගුලියක් කොක්කක අමුනන්නද?”

මෙය අසා ගනේසන් මහත් සේ කෝපයට පත් වූයේය. “මට ඔහොම කතාකරන්නේ උඹ කවුරු කියලා ද හිතාගෙන ද?” ඔහු ගුගුලේ ය. 

“මම කවුරුවත් කියලා හිතාගෙන නැහැ. මේ ගෙදර තෝසේ හරි වඩේ හරි හදනවානම් මීයාට කියලා මොනවා හරි ඉතුරු කරන්න තිබුණා. අපි ඉතින් දවස ගානේ තෝසේයි වඩේයි නේ කන්නේ, නැද්ද හොඳයි?”

“හරි එහෙනම් හැමදාම මීයා ආවදෙන්, ඇවිත් හැම දේම හලලා නාස්ති කළදෙන්!”

මීට ගනේසන් ගේ බිරිඳ පිළිතුරු දුන්නේ නැත.ඒ වෙනුවට ඈ එළවලු කූඩයේ පතුලේ තිබී වියලුණු ළූනු ගෙඩියක් ගෙන එය ඔහු වෙත පෑවාය. “කැමති නම් මේක පාවිච්චි කරලා බලන්න.”

“මේ වගේ ළූනු ගෙඩියක් කන්න මීයෝ ආවේ කොයි ලෝකේ ද?” ඔහු එය ඇය වෙත දමා ගැසූ විට ඇයට යම් වේදනාවක් දැනෙන්නට ඇත. නමුත් ඈ කිසිත් නොකියා නැවතත් ඇඳට ගියාය. 

ගනේසන්ට නැවත නින්දට යා නොහැකි විය. පුද්ගලයන් දස දෙනෙකුට එකවර කෑමට හෝ නින්දට පවා ඉඩකඩ මදි වූ ඒ කුඩා ඉඩකඩ තුළ හැම රාත්‍රියකම මීයන් හතර පස් දෙනෙක් මහත් නිදහසින් කෙළි සෙල්ලම් කළහ. උන් රෙදි පෙරෙදි හපා විනාශ කර, හට්ටි මුට්ටි පෙරළා, තක්කාලි ගෙඩි කා දමා ඉවුම් පිහුම් සඳහා වූ තෙල් බීවෝය. මීට අමතරව උන් නොවරදවාම දෙවියන් වෙනුවෙන් දැල්වූ පහනේ පහන් තිරය පවා ඇදගෙන යන්නට අමතක කළේ නැත. 

ගනේසන් කමිසයක් පැළඳගෙන ශත විසිපහක් සාක්කුවෙහි දමා ගත්තේය. නිවසින් පිටත් වූ ඔහු තමන්ගේ පසුපසින් ඉදිරිපස දොර අගුලු දැමුවේය. 

මේ වෙද්දී මඟ දෙපස ආපන ශාලා වසා දමා තිබිණි. විවරව තිබුණේ තේ කඩ සහ බුලත් විට විකිණූ පෙට්ටි කඩ පමණි. එක වඩයක් සොයාගනු හැකි නම්, අඩුම තරමේ වඩයකින් අඩක් වත්..ඒත් කොතැනක වත් වඩයක් ඉතිරි වී තිබුණේ නැත. පාන්, විස්කෝතු, කෙසෙල් වැනි දේවල් ආපන ශාලා වල ඉතිරි වී තිබුණත් මේ හැම එකක්ම මීට පෙර මීයා වෙනුවෙන් අත්හදා බලා අසාර්ථක වී තිබිණි. මීයා ප්‍රිය කළේ ගැඹුරු තෙලේ දින ලද වඩේ, පකෝඩා හෝ පපඩම් වැනි දේ පමණි. එහෙත් තෙල් වල මිළත් පරිප්පුවල මිළත් බලද්දී මේවා නිවසේදී පිළියෙළ කළ හැක්කේ කවරෙකුට ද? ඔවුන්ගේ නිවසේ හාල් කොටා සකසන උප්පුමා, රුලං උප්පුමා හෝ පොංගල් මාරුවෙන් මාරුවට පිසිනු ලබන්නේ වෙන කෑම වර්ග සඳහා අවශ්‍ය ද්‍රව්‍ය නිවසේ නොතිබුණු නිසා යි. ‘උප්පුමා’ සහ ‘පොංගල්’ යන වචන පවා ගනේසන් ට ඒ වෙද්දී පිළිකුල් ව තිබුණු අතර මීයාටද එසේ වන්නට ඇතැයි ඔහු අනුමාන කළේ ය. 

“මීයාගේත් වෙලාව තමයි, අද උදේම ඌ අසුබ නිමිත්තක් දකින්න ඇත්තේ’ සිතූ ගනේසන් ආපසු හැරී නිවස බලා පිටත් වුණේය. 

නගරයේ චතුරශ්‍රය දෙසින් මහජන රැස්වීමක හඬක් ඈතින් ඇසුණි. එහි සෙනඟ තිහ හතළිහකට වඩා රැස්ව නොසිටියත් කවුදෝ තම අත පය විසිකරමින් කතාවක් පවත්වමින් සිටියේය. ටික වෙලාවක් මීට සවන් දෙන්නට සිතූ ගනේසන් රැස් ව සිටි සෙනඟ ට එකතු වූවේය. 

සභාව අමතන්නා නික්සන් ට තදින් දොස් පවරමින් සිටියේය. ඉනික්බිති ඔහු චීනයටත්, බ්‍රිතාන්‍යටත් රුසියාවටත්, පකිස්තානයටත් වග පල කියා ඉන්දිරා ගාන්ධිටත් තමිල්නාඩුවේ පාලකයන්ටත් සිය අවසාන නිවේදනය නිකුත් කළේය. මේ තර්ජන වලින් සීයෙන් එකක් වත් ප්‍රදේශයේ මී සමාජ පන්තියට අසන්නට ලැබෙන්නේ නම් උන් බෙන්ගාල බොක්කේ පිළිසරණ සොයා යනු නොඅනුමානය. මීයන්ට දෙමල භාෂාව නොවැටහුණේ කිමද?

නමුත් මෙහි මේ කථිකයාට අමතරව තවත් දෙයක් ගනේසන් ගේ අවධානය පැහැර ගත්තේය. රැස්ව සිටි පිරිසෙන් මඳක් ඔබ්බෙහි වූ අත් කරත්තයක් වටා කීප දෙනෙකු වටවී සිටිනු ඔහුට පෙනුණි. මේ කරත්තයේ ලිපක් තිබුණු අතර ඒ මත බුබුළු දමමින් තිබුණු තෙල් තාච්චියෙන් බානු ලබන කෑම වර්ග තත්පර කිහිපයක් ඇතුළත අලෙවි වෙමින් තිබුණි. ගනේසන් අත් කරත්තය වෙත කිට්ටු වී එය අසලින් සිට ගත්තේය. පාන් පිටි දවටන ලද මිරිස් කරල් විස්සක් පමණ තෙලේ බැදෙමින් තිබෙනු පෙනුණේ සයුරේ පාවෙන සබ්මැරීන මෙනි. අසල සිටි මිනිසෙක් “වඩේ හදපන්කෝ අයියා, වඩේ!” කීවත් ඊළඟ වතාවේත් තෙල් තාච්චියට දමනු ලැබුවේ මිරිස් කරල් ම පමණි. “වඩේ හදපන්කෝ අයියා!” ගනේසන් ද කීය. මිරිස් බජ්ජි සඳහා ඉහළ ඉල්ලුමක් ඇති බව පෙනුණි. මෝටර් රථයකින් බට පුද්ගලයෙක් “බජ්ජි අටක් ඔතලා තියනවා,” කියා අඳුරු ඉසව්වකට ගියේ මුත්‍රා කිරීමටයි.

“මේ වතාවේ වඩේ හදපන් අයියා, හරිද?” ගනේසන් නැවතත් කීවේය. මිරිස් කරල් තෙලෙන් පිටට ගත් සැණින් ඒවා දෙකක්, හතරක් හෝ දහයක් ලෙස වහා වහා පාර්සල් කෙරුණි. 

“සර් වඩේ ඉල්ලුවද? කීයක් ඕන ද?”

එක වඩයක් පමණක් ඉලීමට ගනේසන් ට මැළිකමක් දැනුණි. “දෙකක් ඇති” ඔහු කීවේය. 

“එහෙනම් ඊළඟ වටේට වඩේ බදින්නම්” කී වෙළෙන්දා යලිත් වතාවක් තෙලට දැම්මේ මිරිස් කරල්ම ය. වරුවක් තිස්සේ වඩේ ඉල්ලමින් සිටි අනෙත් පුද්ගලයා උස් හඬින් තම විරෝධතාවය පළ කරන්නට විය.

“මේක බැදිලා ඉවර වෙන්න ලඟයි සාර්.. තව විනාඩියයි! අර බලන්න අර මහත්තයාත් බලාගෙන ඉන්නේ වඩේ දෙනකම්.”

ගනේසන් ට අපහසුතාවයක් දැනුණි. කෑම විකුණන අත් කරත්තය වටා සෑහෙන්න තරමක පිරිසක් රැස් වී සිටියහ. ඒ හැම කෙනෙක්ම තමන්ගේ ඇනවුම ලැබෙනතුරු කෑමට සුදානම් ව බලා සිටියහ. තමන් ද තමා ඇනවුම් කළ වඩේ ආහාරයට ගැනීමට නොඉවසිල්ලෙන් සිටින බවක් ඔවුන් සිතනවා ඇත. ඒ ඇනවුම මී උගුලකට බව ඔවුන් දන්නවා නම්! ඔහුට මහත් කනස්සල්ලක් දැනුණි. 

බැදී අවසන් වූ පසු ඔහුට ඔහුගේ ඇනවුම මුලින්ම ලැබුණි. ඒවා ‘මාලයි මරසු’ නම් සවස පුවත්පතේ පිටුවකින් ඔතා තිබිණි. ඉන් කාන්දු වූ උණුසුම් තෙල් පත්තර පිටුව පෙඟී ඔහුගේ අත්ලේ ගෑවුණි. මේ වඩේ දෙකෙන් විහිදුණේ ප්‍රනීත සුවඳකි.

ගනේසන් තම නිවාස බලා නික්මුණි. වඩේ පාර්සලයේ උණුසුම දරාගනු නොහැකිව ඔහු එය අත්ලෙන් අත්ලට මාරු කරමින් ඇවිද ගියේය. මින් ඔහුගේ දෙ අත්ලේත් පත්තර පිටුවේත් බෙහෙවින්ම තෙල් තැවරිණි. 

මේ වඩේ මීයෙකු වෙනුවෙන් සැකසුණු බවක් ඒ වෙළෙන්දා දැන සිටියා නම්! මේවා තම නිවසේදී පිසිනු ලැබී නම් ගනේසන් ට මේ වරදකාරී හැඟීම නොදැනෙනු ඇත. එහෙත් දැන් ඔහුට දැනුනේ මහත් අපහසුතාවයකි.

තම කමිසයේ තෙල් පල්ලම් නොගෑවී එහි සාක්කුවෙන් නිවසේ යතුර පිටතට ගැනීම කළ නොහැක්කක් විය. ඔහු වඩේ පාර්සලය බිමින් තබා තම තෙල් තැවරුණු දෑත දෙපයේත් විලුඹේත් පිසදා ගත්තේය. නිවස තුළ ට ගිය පසු ඔහු එක් වඩයක් මී උගුලේ කොක්කෙහි ඇමිණූ අතර දෙවැන්න කා දැමුවේය. 

වයස පනහට වැඩි පුද්ගලයෙක් රාත්‍රී දහයට පමණ වඩයක් කෑ විට එහි යම් අයහපත් ප්‍රතිපලයක් 

ඇති වනු නියත ය. මේ තමන්ට ලැබෙන්නේ එක්තරා ආකාරයක දඬුවමක් බව කල්පනා කළ ගනේසන් ඒ මේ අත පෙරළෙමින් වැතිර හිඳ අන්තිමේදී නින්දට වැටුණේය. 

උදෑසන වෙද්දී ගනේසන්ගේ උදරය මහත් සේ පීඩා දෙමින් තිබිණි. එමෙන්ම රාත්‍රියේදී මීයා මී උගුලට හසු වී මහත් කලබලයක් කරමින් පසු වූ බව ඔහු දැනගත්තේ බිරිඳ කියූ විටයි. 

දැන් ඉතින් මීයා ව කොතැනකට හෝ ගොස් අත ඇරිය යුතු ය. ඔහු මී උගුල අතින් ගෙන නිවසින් පිටත් විය. මීයා උගුලේ වූ කුඩා සිදුරකින් තම හොම්බ පිටතට දැම්මේ ය. ඒ හොම්බේ තරමින් නම් ඌ විශාල මීයෙක්ද, කුඩා එකෙක් ද යන වග අනුමාන කිරීම දුෂ්කර විය. නමුත් ඌ ට පිටි බෙලෙක්කයක් පෙරළන්නත්, තෙල් බඳුනේ පියන ගලවන්නත්, කිලිටි රෙදිත් එළවලුත් කා දමන්නත් හැකි නම් උගේ ප්‍රමාණය දැනගැනීමෙන් ඇති ප්‍රයෝජනය කුමක් ද?

මෙවර නම් මීයා ව කාණුවට අත් නොහරින්නට කල්පනා කළ ගනේසන්, මී උගුලත් ගෙන චතුරශ්‍රය වෙත ගියේ ය. මේ මීයාට නම් ඔවුන්ගේ නිවස නැවත සොයාගැනීමට අඩුම තරමේ සතියක්වත් ගතවනු ඇත. ඒ අඩුපාඩුව ලොකු ගැටළුවක් නොවන්නේ තම නිවසට පැමිණීමට තවත් ඕනෑතරම් මීයන් සිටි බැවිනි. 

තමන් පසුපස එන කොලු කුරුට්ටන් මඳක් ඉවත්වන්නේ නම් මැනවි යැයි ගනේසන් ට සිතුණි. නමුත් ඔවුන් බලා සිටියේ තමන් මී උගුල විවර කරන තුරුයි. ඔහු එය බිම තබා එහි දොර විවර කළේ ය. එළියට දිව ආ මීයා මධ්‍යම තරමේ එකෙක් විය. ඌට ඉඩකඩ සහිත එළිමහන නුහුරු බැවින් කලබලයට පත් ව ඒ මේ අත දුවන්නට විය. අසල වූ කොල්ලෙක් ඌ වෙත ගලක් ගැසී ය. 

“එපා, කොල්ලෝ එපා!” ගනේසන් කෑ ගැසීය. 

එවෙලේම කොහේදෝ සිට පියඹා ආ කපුටෙක් මීයාට එක වරක් කොටා නැවතත් පියාඹා ගියේ ය. උඩුකුරුව වැටී ගැහෙමින් උන් මීයා ටික වෙලාවකින් නැවත නැගිට කොර ගසමින් වඩාත් වේගයෙන් දුවන්නට විය. කපුටා වටයක් පියාසර කර වේගයෙන් පහතට පැමිණෙන්නට විය. මීයාට සැඟවෙන්නට තැනක් තිබුණේ නැත. කපුටා ඌ ව එක්වරම ඩැහැගෙන ඈතට පියාඹා ගියේය. ගනේසන්ට වේදනාවක් දැනුණි. 

එහෙත් ඔහුට වඩාත්ම දුකක් දැනුණේ වෙනත් කරුණක් නිසා යි. නැවත නිවස බලා යාමට පෙර ඔහු මී උගුල තුළ බැලුවේ ය. ඔහු පෙර දිනයේදී එහි රැඳවූ වඩය එලෙසින්ම ඒ තුළ විය. 



Nissanka Rajapaksa

unread,
Jul 14, 2024, 8:28:51 PM7/14/24
to INDRAKA group
5
නොහැකියාව

- තිස්ස දිසානායක 

බන්දු ගේට්ටුව ඇරගෙන වත්තට ඇතුළු වෙනකොටම නයනි මිදුලේ ඉන්නවා දැක්කා. හවස පහට ඔෆිස් ඇරිලා බෝඩිමට නොයා නයනිව බලන්න එනවා කියලා කෝල් කරද්දී, නයනි හරි ආසාවෙන් කිව්වෙ එන්න කියලා. 

" එන්න.. එන්න අපි ආදරවන්තයින්ට එන්න එපා කියන්නේ නෑ.."

නයනි එහෙම කියලා තමයි ෆෝන් එක තිබ්බෙ.

බන්දු නයනිව යාලු කරගෙන දැන් අවුරුදු දෙකක් වෙනවා. ඒ බන්දුගෙ යාලුවෙක් මගින්. බදුල්ලේ ඉඳලා නුවර රස්සාවට ආපු බන්දු නතර වුණේ පේරාදෙණියේ බෝඩිමක. එතන ඉඳන් රස්සාව කරන්න පහසුයි. දැන් අවුරුදු හතරක් බන්දු මේ ඔෆිස් එකේ රස්සාවට යනවා. මුලින්ම මහ කුලෑටි ගති ලක්ෂණ සහිත පුද්ගලයෙක් හැටියට යාළුවන් අතර ප්‍රසිද්ධ වුනු බන්දු, නයනි මුණගැහුනට පස්සේ තරමක් සමාජශීලී වුනා. 

" කෙල්ල තමයි මූව හදලා ගත්තේ.." යාලුවෝ කිව්වෙ එහෙම.

නයනිගෙයි බන්දුගෙයි සම්බන්ධය දෙපැත්තෙම දෙමව්පියන් දන්නවා. ගම ගෙදර බැලීමත් චාරිත්‍රානුකූලව සිද්ධ වුණා. ලබන වසරේ සැප්තැම්බර් මාසයේ කසාද බදින්නත් තීන්දු වුනා. ඒ නිසාම වැඩ රාජකාරි අඩු දවස්වල බන්දු අතරින් පතර නයනි බලන්න යනවා. සුරා සූදුවෙන් තොර, දුම් වැටියක් , බුලත් විටක් තරමවත් දෙයක් පාවිච්චි නොකරන බන්දු ගැන නයනිගෙ දෙමව්පියන්ටත් තිබුනේ ලොකු විශ්වාසයක්. ඒ නිසාම දෙමව්පියන්ගේ අනුදැනුම ඇතිවම බන්දු දින දෙක තුනක්ම නයනිගෙ ගෙදර රාත්‍රියේත් නතර වුණා. අදත් නයනිට හවස කතා කරද්දි රාත්‍රියේ නයනිලගෙ ගෙදර නතරවීම තමයි බන්දුගෙ හිත යට තිබුනේ.

" එන්න එන්න. මම මේ බලාගෙන හිටියේ ඇයි පරක්කු කියලා.."

නයනි එහෙම කියාගෙන ලස්සනට හිනා වෙද්දි බන්දු ගේ දොරකඩටම ඇවිල්ලා...

" කෝ අම්මයි තාත්තයි.".? 

බන්දු සාලයේ වාඩිවෙන ගමන් ඇහුවා.

" අම්මලා කතරගම ගියා බන්දු."

නයනි ගාණක්වත් නැතුව කියනවා.

" කවද්ද එන්නෙ." ?   බන්දු ඇහුවා.

" හෙට ".
 නයනි කිව්වා.

"ඔයා තනියමද."?

"මට තනි නෑ බන්දු. ඇයි ආච්චි අම්මා ඉන්නවනෙ."

" මම නතර වෙන්න හිතාගෙන ආවේ. අම්මලා නැත්තං මම යන්නම් නයනි." නයනි හදාගෙන ආව තේ එක බොන ගමන් බන්දු කිව්වා.

" පිස්සුද අනේ. ආච්චි අම්මා ඉන්නවනෙ.ඔයා ඉන්න."

තමන් අද නතර වෙන්න එන බව කෝල් කරලා කියද්දි නයනි අම්මලා ගෙදර නැති බව නොකියා හිටියේ ඇයි. එසේ කීවා නම් දෙමව්පියන් නැති, ලෙඩින් පෙලෙන මැහැල්ලක් පමණක් තනියට සිටින ගෙදරකට තමා කිසිසේත්ම නොඑන බව නයනි සක්සුදක් සේ දන්නා හින්දද..? 
එසේ නැතහොත් තමා මෙන්ම නයනිද එකිනෙකා සමග තනිවීමට හිත යටින් තියෙන ආසාව හින්දද..? 
යුවතියක හා පෙමින් බැඳුණු දා සිට ඇය හා තනිවීමට අවස්ථාවන් සොයන පෙම්වතුන් අතර , තමාට ලැබුණු අවස්ථා පවා බන්දු මගහැර ගියේ, එසේ කිරීම සදාචාරාත්මක නොවන බවට සිතමිනි.
එහෙත් තම කුළුඳුල් ආදරවන්තියගෙ සුකොමළ නාරී දේහ ලක්ෂණ වලින් වසී වී සිටි බන්දු, ඇය හා තනිවීමට අවස්ථාවන් හිත යටින් පතමින් හිටියා. අද මේ සඳහා තමාට මනරම් අවස්ථාවක් ලැබී ඇති බව බන්දුට ඒත්තු යන විට, හෘද ස්පන්දන වේගය වැඩි වෙනවා යාන්තමට දැනුනා.ඒත් ඒ අනර්ඝ මොහොත ආරම්භ කරන විදිහ බන්දුට ප්‍රශ්නයක් වුණා. 

"  බන්දු නාගන්න.. ඔක්කොම බාත් රූම් එකේ තියෙනවා.."
දිලිසෙන ඇස් වලින් කතා කරන ගමන් නයනි ළඟටම ඇවිත් කිව්වා. ඇගේ ඇස් වල කාන්තිය තමාගේ සියොලඟ විනිවිද යනවා බන්දුට දැනුනා. ඒකද ආදරය කියන්නේ.. ඔහු තනිවම හිතුවා.. බාත් රූම් එකට ගිහින් දොර වහගත්තට බන්දුට නාන්න හිත නිදහස් නෑ. ඔහුට නයනිවම මැවෙන්න ගත්තා. ගෙදරට ඇවිල්ලා සෑහෙන වෙලාවක් ගියත් තාමත් ඔහුට මේ සුන්දර ආදරවන්තියව තම බාරයට ගැනීමට නොහැකි වුනා. ඉස්සරලාම ඇයව ස්පර්ශ කරන්නෙ කොහොමද.. අතින් අල්ලනවද.. නෑ නෑ.. ඒක හොඳ නෑ.  එහෙනම් එක පාරම නයනිව සිපගන්නවද... චී චී.. ඒක අශෝභනයිනෙ... එහෙනම් හොඳ විදිය මොකක්ද.. හා හාපුරා කියා තම පෙම්වතිය ස්පර්ශ කිරීමට පෙරුම්පුරන හැම පෙම්වතෙක්ගේම වගේ බන්දුගෙ ඔළුවත් යකාගෙ කම්මල වගේ වුනා.. 

එතකොටම නාන කාමරෙ දොරට ගහන්න ගත්තා. බන්දු ඉක්මනට තුවාය දවටාගෙන යාන්තමට දොර ඇරියා.

" අනේ බන්දු ෂැම්පු එක ඉවර වෙලා. මේ අලුත් එක ගන්න."

 ඇය බාගෙට ඇරුණු දොරෙන් ඔලුව දාලා ෂැම්පු එක දෙන ගමන් කිව්වා. තමාගේ නිරුවත් උරතලය දෙස නයනි මොහොතක් උනන්දුවෙන් බලාගෙන ඉන්නවා දකිද්දි බන්දුගෙ හිතට ලජ්ජාවක් දැනුනා. බන්දු ඉක්මනට දොර වහගත්තා. ඔහුගේ පපුව ගැහෙනවා වගේ දැනුනා. නයනි තමා දෙස බලාගෙන ඉන්නවා වගේ ආයෙත් පෙනුනා. ආයෙත් පපුව ගැහෙනවා වගේ දැනුනා.

බන්දු නයනිත් එක්ක හවස හෝරාවක් දෙකක් අල්ලාප සල්ලාපයේ යෙදුනා. විවාහ උත්සවය ගන්නා ආකාරය පිළිබඳවත්, පදිංචිය සඳහා බදුල්ලේ පස්සරට යන හැටිත්  කතා කරා. ඇතුල් කාමරේ ලෙඩින් ඉන්න ආච්චි අම්මා බලන්නත් ගියා.
නයනි ගොඩක් දේවල් එකතු කරලා බන්දු වෙනුවෙන් රස කෑම වේලක් හදලා තිබුණා. නයනිගෙ අතින් හදපු කෑම බන්දු ආසාවෙන් කන දිහා නයනි බලාගෙන ඉඳලා..

" රසද ".? ඇහුවා.

" හ්ම්.." බන්දු කිව්වා.

 නයනි බලාගෙන ඉඳලා නැගිටලා ගියා. අපරාදේ නයනිට බත් කටක් කවන්න මතක් වුනේ නෑනේ.. පස්සෙනෙ මතක් වුනේ. බන්දු තමාටම දොස් කියා ගත්තා.

බන්දුට නිදාගන්න නයනි හදලා දුන්නේ වෙනදා දෙන කාමරේමයි. කාමරේ හදලා දුන්න නයනි යන දිහා ආසාවෙන් බලාගෙන හිටපු බන්දුට ඇයව මේ කාමරේම රඳවා ගන්නට ඇත්නම් කියලා හිතුනා. පැයක්, දෙකක් නින්ද අහලකවත් නැතුව බන්දු නයනි ගැනම කල්පනා කර කර හිටියා. ගෙදරට ඇවිල්ලා පැය හත අටක් විතර ගතවුනත්, අම්මා තාත්තා වත් නැති මහඟු අවස්ථාවක් තමාට උදාවී ඇතත්, තාමත් ඇගේ අතින්වත් ඇල්ලීමට තරම් තමාට ධෛර්යක් නොවීම ගැන පලමු වරට බන්දුට සියුම් ලජ්ජාවක් දැනුනා. රාත්‍රිය ඉතාම නිසංසලයි. ගහකොළකවත්, සුළඟේවත් ශබ්දයක් නෑ. නයනී ගැන තමාගේ හිත පතුලේ කැකෑරෙන අනුරාගී ආසාව උතුරාගෙන එන බව බන්දුට දැනුනා. නයනි නිදි ඇති.. ඒත් .. ඒත් මට එයා ගාවට යන්න තියෙනවා නම්.. බන්දුට එහෙම හිතුනා. එතකොට නයනි මම ගැන වැරදියට හිතයිද කියලත් බන්දුට හිතුනා... දෙගිඩියාව අවසානයේ බන්දු තීරණයක් ගත්තා. අනුරාගයේ මිහිරි මංපෙත් හොයාගෙන, ශෘංගාරයේ අනන්තය බලාපොරොත්තුවෙන් මැදියම් රැයේ, බන්දු කලුවරේ අතපත ගාමින් සාලය හරහා නයනිගෙ කාමරය හොයාගෙන ගියා. බන්දුගෙ කකුලක වැදුණු සාලයේ වූ මල් බඳුනක් විශාල ශබ්දයක් නගමින් පෙරලී ගියා. 

" දුවේ... දුවේ.. මොකක්ද බලාපන් පෙරලුනේ.".?

 ආච්චි අම්මා කෑගහන්න ගත්තා. බන්දු කරුවලේම අතපත ගාමින් තමන්ගේ කාමරේට දුවගෙන ඇවිත් ඇඳේ හාන්සි වුනා. 

ටික වෙලාවකින් වැස්සක් කඩාවැටෙන සද්දෙ ඇහුණා. අඳුරත්, වැස්සත් කියන්නේ අනුරාගී සිතුවිලි වලට තෝතැන්නක්. ආසාවන් බුර බුරා ඇවිලෙද්දි ආයෙමත් බන්දු නයනි හොයාගෙන යන්න පෙළඹුණා. එවර ඉතාම පරිස්සමින් නයනිගෙ කාමරය අසලටම ආව බන්දු, සද්ද නොනැඟෙන සේ හෙමිහිට දොරේ අගුල කැරකුවා.
පුදුමයකට වගේ දොර ඇරුනා. ඒ කියන්නේ නයනි තමන්ව බලාපොරොත්තුවෙන් ඉඳලද...? 
බන්දු දොර විවර කරලා කාමරයට ඔලුව දැම්මා.

                           මන්ද ආලෝකය සපයන විදුලි බුබුල නයනිගෙ සිරුරේ පැහැය ඔපවත් කරලා තිබුණා. අති සුන්දර ආකාරයට ඇය යහනේ සැතපී සිටියා. බන්දු හෙමිහිට නයනිගෙ ඇඳගාවට ආවා.

" චුක්.... චුක්... චුක්..."

බිත්තියේ සිටි හූනෙක් කෑගහපු සද්දෙට බන්දු තිගැස්සුනා.. ඒක නරක පෙරනිමිත්තක්. බන්දු තමාටම කියාගෙන හිස් අතින් ආපහු ඇවිත් කාමරේ ඇඳේ ඇලවුනා
  
බන්දුට ඇහැරෙද්දි එලිය වැටිලා. ඉක්මනට මූණ හෝදගෙන ඇඳුම් ඇඳගෙන ඔෆිස් යන්න ලෑස්ති වෙලා සාලෙට ආවා. එතකොටම නයනි තේ එකක් අරගෙන ආවා.. ඒත් නයනිගෙ මුහුණ ඊයේ හවස තරම් හොඳ නෑ කියලා බන්දු දැක්කා. ඊයේ රෑ තමන් ඇගේ කාමරේට ගියපු එක නයනිට දැනිලාවත්ද කියලා බන්දුට හිතුනා.  ෂික්.. එහෙම වුණොත් වස ලජ්ජාවක්..

තේ එක බොන ගමන් බන්දු ලොකු තීරණයක් ගත්තා.  පිටත් වෙන්නට පෙර ඇයව සිපගන්නට හිතුවා.හිස් තේ කෝප්පය  නයනි අතට දෙන ගමන්... 

" මම යන්න හදන්නේ."
කෝ.. මට කිස් එකක් දෙන්න.."
 
ලොකු ධෛර්යකින් බන්දු කිව්වා.

" අනේ නිකන් යන්න බන්දු යන්න..
රෑ තිස්සේ ගේ ඇතුළේ නිදාගෙන ඉඳලා අතින්වත් අල්ලන්න බැරි වුන මිනිහ යන්න ලෑස්ති වෙලාද කිස් එකක් ඉල්ලන්නේ.." ?

නයනි සමච්චල් හිනාවකුත් එක්ක එහෙම කියාගෙන තේ කෝප්පෙත් අරගෙන ගස්සගෙන කුස්සිය පැත්තට යන හැටි බන්දු හිස් බැල්මෙන් යුතුව බලාගෙන හිටියා.

Nissanka Rajapaksa

unread,
Jul 15, 2024, 7:44:25 PM7/15/24
to INDRAKA group
6
වචී පරම

- නජිලා අධිකාරි

"දැන් ඔය කෙටිකත‌ාවල ඉන්න සුදු චරිත ගුරාලා ඇගට අරගෙන ස්ටේජ් උඩ එක එක විගඩම් නටනවා නේද? ගස් කපන්ඩ එපා ය, ගුරුන්ට ගෞරව කරන්ඩය වගේ සාර ගර්භ ඔවදනේ ඉඳලා පංති ක්‍රමයට සිදු වුණු සමාජ විභේදනය ඉතා නරකය , ඒ ක්‍රියාවලියට හවුල් නොවිය යුතුය වගේ ඔයාලට ටිකක් බරසාර ඔවදනුත් දෙනවා නේද?"

පංතිය පටන් ගත්ත මුල් ම දවසේ සිරිසුමන හාමුදුරුවෝ තමන් නියෝජනය කළ ක්ෂේත්‍රයේ සෙසු ක්‍රියාකාරි සාමාජිකයින් විවේචනය කළා. උන්වහන්සේට ඕනෑ වුණේ තමන් ටියුෂන් මඩ ගොහුරේ පිපුණු මඩ නොතැවරුණු නෙළුමක් බව අපිට අඟවන්නට ද මන්දා? මේවා හරිම දේශපාලනිකයි. ඡන්දෙ කාලෙට මහින්ද, රනිල්ට යි, රනිල් මහින්දට යි, බණිනවා වගේ සිරිසුමන හාමුදුරුවෝ ආයෙම කියවිල්ල පටන් ගත්තා.

''මාකටින් ඕවා. නැතුව බෑ මුන්දලාගේ අධිරංගනය වැඩියි. ඔය මානව හිතවාදී චරිත උන්ගෙ ඇතුළෙ නෑ. මෙහෙමයි ඉතින්. මොකද අපි කියලත් රහසින්වත් පවු නොකළ උදවිය නෙවේ. රහසින්වත් පවු නොකළ සේක කියන්න හිටියෙ එක එක මනුස්සයයි නේ. මමත් තාම හරියට එයාව දැකලා නෑ"

උසස් පෙළට නිර්දිෂ්ට 'පේමතෝ ජායතී සෝකෝ' නාට්‍ය කෘතිය උගන්නන්න පටන් ගන්න කලින් ප්‍රේමයෙන් නොවේ මනුෂයයාගෙන් ශෝකය, බය ඇති වෙනවා වගේ කතාවක් සිරිසුමන හාමුදුරුවෝ කීවා.

අම්මගෙයි අප්පච්චිගෙයි උවමනාවට සිංහල විෂයට කණ්ඩායම් පන්තියක් ගෙදර නිර්මාණය වුණා. සිරිසුමන හාමුදුරුවෝ හදාරා තිබුණු සිංහල විෂය සඳහා වූ ශාස්ත්‍රීය ඥානය, තමා ප්‍රධානම නිෂ්පාදනය. මේ නිෂ්පාදනයේ අලෙවි ප්‍රවර්ධක වුණේ අපේ අම්මා. අම්මාගේ අරමුණ මේ කුඩා කණ්ඩායම් පංතියට තව ළමයි එකතු කරගන්න. ඒක ඒ අරමුණින් එළිපෙහෙළි වන සැබෑ අරමුණ තමා. අම්මා ලාභය බලාගෙන කරපු වැඩක් ඒ. ඇගේ කෙටිකාලීන මුල්‍යමය වාසිය මාසික පන්ති ගාස්තු අඩු කර ගැනීම. දිගුකාලීන මුල්‍යමය වාසිය අධ්‍යාපනය තුළින් භෞතික විමුක්තිය මතුකර ගැනීම.

''ඇත්තට සල්ලි කියන්නෙත් සෑහෙන වටිනා උසස් දෙයක් තමා. දෙවියෝ කොතැන දඑතැන ළඟපාත කාසි ගොඩක් තියෙනවා. පඬුරකට වුණත් නිකං රෙදි කෑල්ලක් ගැට ගහන්ඩ බෑ නේ. "

මම අපේ සිංහල පන්තියේ මලීෂාට කිව්වා.

''මට නං පඬුරු ගැටගහන හැම වේලෙම හිතෙන්නෙ දෙවියෝ කියන්නෙ දුන්නොත් දෙනවා වගේ කෙනෙක් කියල. පඩුරු ගැටගහන අය එතැනට යන්නෙ දුන්නොත් දෙනවමද කියලා අහන්න වගේ"

මලීෂා සාමාන්‍ය දෛනික කතාබහට එකතු කරගත්ත මේ අපූරු චින්තාව ගැන මට දැනුණේ පුදුමයක්.

සිරිසුමන හාමුදුරුවෝ කියන්නේ ඇත්තටම තමන්ගෙ ප්‍රතිදානයේ ගුණාත්මක බව ගැන සැලකිලිමත් වූණු කෙනෙක්. පාට පාට සරුවත් කෝප්පා වගේ ඇස් බඳින දිව පිනවන වැඩ කළේ නෑ. උන්වහන්සේ ඉගැන්වීමේ ක්‍රියාවලිය හරියට ම කොත්තමල්ලි කොප්පයක් වගේ ඇඟට ගුණයි. කොහොඹ පොතු තම්බලා බොන කොට එන තිත්ත රහ නෑ, සරුවත් කෝප්පයක්, වීදුරුවක්, බොන කොට එන පැණි රහත් නෑ.

කල්යත් ම ළමයි හය හතර බවට පත්වුණා. හතර දෙනා මමත්, මලීෂත් දක්වාත් අඩු වුණා. පන්තිය හැර ගිය ළමයි රහ සරුවත් පන්ති හොයා ගෙන ගියා කියල පස්සෙ ආරංචි වුණා. පන්තියෙ ළමයි ඉරට්ටෙ සංඛ්‍යාවකට අඩුවුණේ පන්තියෙ ඔවුන් හිටියෙ යුගල් වශයෙන් නිසා. මේ යුගල් බැඳුම් අතරෙ ස්වාධීන තීරණ, ස්වාධීන ක්‍රියාකාරකම්, වගේ ඒවා නැහැ. සේරම සිද්ධ වුණේ යුගල විධියට.

ඔන්න දැන් අම්මා ගේ කණ්ඩායම් පන්තියත් පාඩු ලබන ව්‍යාපාරයක් බවට පත්වෙලා සම්පූර්ණ වියදම අපේ පවුලත්, මලීෂාලාගේ පවුලත් අතර බෙදී ගියා. අවසානයේ මලීෂත් පන්තිය හැර ගියේ මාව තනි ශිෂ්‍යාවක බවට පත් කරලා.

අපට උසස් පෙළට නිර්දිෂ්ටවෙලා තිබුණු නාට්‍ය කෘතිය වුණු 'පේමතී ජායතී සෝකෝ' නාට්‍යය උන්වහන්සේ උගන්නන කොට මම හිටියේ තනියම. මට නාට්‍ය කෘතිය අවබෝධයත් සම්පූර්ණයෙන් කියවලා පස්සේ ඒ ආශ්‍රිත පොත්පත්, ලිපි ආදිය ය හෙයා ගෙන කියවන්න කියලා සතියක කාලයක් ලබා දුන්නා. මම බිහේෂ් ඉන්දික, ආරිය රාජකරුණා වැනි ඇදුරන් ලියූ කෘති කිහිපයක් හා ලිපි කිහිපයක් හොයාගෙන කියෙව්වා.

''ඇයි ශිල්ප ශාස්ත්‍රයේ පරතෙරට ම ගිහිපු ගැහැනු පිළිකුල් කරපු, උද්දාල බමුණා ස්වර්ණතිලකා කෙරෙහ බැඳුණේ?"

සිරිසුමන හාමුදුරුවෝ ආගිය තොරතුරු කතා කරන ස්වරයෙන් ම පාඩමට ප්‍රවේශ වීමේ මුල් ම ප්‍රශ්නය මගෙන් ඇහුවා.

ස්වර්ණතිලකාගේ භෞතික රුවෙහි තිබූ ආකර්ශණීය බව නිසා කියලා වචන බර කරලා නොකියා මම ''ස්වර්ණතිලකා ලස්සන නිසා" කියල කිව්වා.

''නැහැ".

''එහෙනම්"

''සුන්දරත්වය තියෙන්නේ වස්තුවේ නෙවේ. අපේ සිතේ. සිතිවිලිවල. තණ්හා, ආශාවලින් විනිර්මුක්ත හිතක් නම් තිබුණේ උද්දාලට ස්වර්ණතිලකා ගේ සුන්දරත්වයට වශී වීමක් සිද්ධ වෙන්නේ නෑ.

සිරිසුමන හාමුදුරුවෝ නාට්‍ය කෘතිය ඉගැන් වූ අයුරු මගේ මනසේ සිනමා පටයක් ලෙස දැනුදු පහළ වේ. සිරිසුමන හාමුදුරුවන්ට අනුව මුළාවට හේතුව තණ්හාවයි. තණ්හාව පහ කළොත් ජීවිතය ඉතා සාමකාමියි. න්‍යායාත්මක අධ්‍යාපනය ප්‍රායෝගිකත්වයෙන් තොර නම් එයින් වැඩක් නැහැ. ජාතක කතා වාක්‍ය රීති, සද්ධර්මරත්නාවලිය, ගුත්තිල කාව්‍ය, අතර කාල රේඛා දෝලනය වෙන්න ඉඩ හැරලා, අපේ නෑ, මගේ සිංහල පන්තියේ අවසාන දිනය උදා වුණා.

පෙරළමින් කියවා සිටි පොතක් වසා තැබුවා වැනි හැඟීමක් එදින මට දැනුණා. එදා රතුපාට දවසක්. සිරිසුමන හාමුදුරුවො කඩඉම් විභාගයට පෙර සූදානම් වියයුත්තේ කෙසේ ද යන්න පිළිබඳව අවවාද කීපයක් දීලා, අම්මයි, අප්පච්චියි එක්ක සුහදව කතා කරලා, සේකරගේ 'සක්වාලිහිණි' කවි පොත මට තිළිණ කරලා යන්න ගියා. යන්න ම ගියා.

හාමුදුරුවෝ මට තිළිණ කරපු සක්වාලිහිණි පොත පෙරළා කියවන්න මට අවකාශයක් හැදුණෙ උසස් පෙළ විභාගය අවසන් වුණාට පස්සෙ. එදා ඇත්තට ම මට රතුපාට දවස කියලා නම තිබ්බෙ මෙදා. ඒ කවි පොතේ මැදට වෙන්න කුඩා කඩදාසියක සටහනක් තිබුණා.

''මට ඔයා ගේ මුළු සිරුර ම හැඟීම් ගොඩක්. ඔය සිරුරෙ කොහෙන් හෙළ වුණත් වැටෙන්නෙ හැඟීමක් ම යි. කල්පනා ම කරලා කල්පනා ම ගොඩක් වුණු ශරීර ස්කන්ධයක් ඔයාට තියෙන්නෙ. ජීවිතේ කිසිදාක දුකක් නොවේවා!!

මට උද්දාලව මතක් වුණා. ප්‍රායෝගිකත්වයෙන් තොර වූ උද්දාලගේ න්‍යායාත්මක අධ්‍යාපනය මතක් වුණා. උසස් පෙළට නිර්දිෂ්ටවෙලා තිබුණු ගද්‍ය, පද්‍ය උපුටන කල් යද්දි මතකයෙන් මැකී ගියත් සිරිසුමන හාමුදුරුවෝ අර රතුපාට දවසේ මට දුන් කුඩා සටහටනේ එකම වචනයක් වත් මට අමතක වුණේ නෑ,

හිරිමල් යෞවන තුර දලු ළා ගෙන වැඩී එන කාලයක ලැබුණු මේ ප්‍රථම ප්‍රේම හසුන මා තුළ ආත්මාභිමානයක් ඇති කළා. එහෙ මෙහේ රස්තියාදුවෙ යන කොලු නඩවල කොල්ලෙක් දෙන්නෙක් සිය ප්‍රේම විමනේ කිරුළ පැලන්දුව මා සම වයසේ සිටින මිතුරියන් දෙතුන් දෙනාට වඩා විශේෂයි කියල මට හිතුවා උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් ගතකළ ගන්ධබ්බ කාලයේ ප්‍රථම ප්‍රේම ආරාධනාව ප්‍රතික්ෂේප කරපු මහා ආඩම්බරකාර කෙල්ලක් වෙන්න මට උවමනා වුණා.

මම පෙරළා සිරි සුමන හාමුදුරුවන්ට ලිපියක් ලිව්වා. ඒ සඳහා මා ළඟ තිබූ මතක මෙවලම් මා හොඳට හසුරුවා හැරියා. වැඩිපුර ම භාවිතා වුණේ නන්දි වානිජ කතා වස්තුවෙ උද්ධෘත. හාමුදුරුවො මට පන්ති කරන සමයේ මම කලබලකාරී ස්වරූපයකින් විචාර ලියා චකිතයකින් කල් ගෙවපු හැටි යළිත් මතක් වුණා.

ලිපිය ලියන කොට ඒ කලබලයවත්, චකිතයක්වත් මා තුළ නොවූ බවට මට සහතික කර කියන්න පුළුවන්. එදා ඒ ලිපිය ලියන මොහොතේ දී සිරි සුමන හාමුදුරුවෝ මගේ ශිෂ්‍යයෙක් ය, මං උන්වහන්සේ ගේ ගුරුවරයා ය යන ගාම්භීර සිතිවිල්ල මා තුළ ඇති වුණා.

සිරි සුමන හාමුදුරුවෝ වෙත,

ඔබ වහන්සේ සක්වාලිහිණි පොතෙහි තබා තිබුණු කුඩා සටහන මගේ නෙත ගැටුණා. මම ශිව අමාත්‍යයා වෙත වෙළඳ වාර්තාව යැවූ ප්‍රකාශයෙන් කොටසක් උපුටා දක්වන්න කැමතියි.

''මේ ශරීරය කිසි ගතයුතු සාරයක් නැත්තේ ය. නිස්සාර ය. මනෝ ව්‍යාධිවලින් පීඩිත ය. සියලු ආරෝග්‍යතා ව්‍යාධි කෙළවර කොට ඇත්තේ ය"

ඔබ වහන්සේට මේ උද්ධෘතය මතක ඇති අනිවාර්යයෙන් ම

 හැබැයි ජීවිතතේ සමහර ගැටලුවලට අපි දන්න සූත්‍ර අපට ආදේශ කර ගන්න බැරි වෙනවා.

ඒ ලියුම ලියල අහවර වුණාට පස්සේ මට අර යශෝදරාවතේ අභිනික්මන් කරපු සිදුහත් කුමරුට වනේ තියෙන කොයි දේත් රස වෙන්න, අව්වේ රැස් අඩු වෙන්න, පතපු යශෝදරාව මතක් වුණා. මමත් ඈ තරමට නැතත් ටිකක් හරි උත්තරීතර යි කියල හිතුණා. කොහොමෙන් කොහොම හරි උසස් පෙළ ප්‍රතිඵල ඇවිත් මම විශ්වවිද්‍යාලෙට තේරී තිබුණා. ප්‍රතිඵල ගැන සිරි සුමන හාමුදුරුව්න් දැනුවත් කරලා ගුරු පඩුරු තියා එන්න අම්මා මාවත් එක්කර ගෙන උන්වහන්සේ වැඩ සිටි පන්සලට ගියා. අම්මා බුදු කුටියට යනකං ඉඳල, ලියූ කුඩා ලිපිය මම උන්වහන්සේගේ, දෑත මත තියා තියා ආවා. එදා උන්වහන්සේගෙන් දිස්වුණේ වෙනදා මා වෙත දැක්වූ සාමාන්‍ය හැසිරීම් රටාවම යි. හැබැයි මගේ කල්පිත සිනාව ලොවේ අපේ සම්මුඛ වීම හා අනතුරුව සිදුවන සිදුවීම් ගැන සොඳුරු සිනමා පටයක් ඇඳිලා තිබුණේ. එදා ඔය සිදුවීමෙන් පස්සෙ කවරදාකවත් මට සිරි සුමන හාමුදුරුවන් ව මුණ ගැහුණේ නෑ. මම විශ්වවිද්‍යාලයට ඇතුළු වී පළමු වසර ගතවන විට සිරි සුමන හාමුදුරුවෝ අපේ නගරයෙන් බැහැර නොච්චියාගම පැත්තෙ ගමක පන්සලක වැඩ වසන බවට මට ආරංචි වුණා.

මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලෙ දි අර කලින් ලිව්වා වගේ ලිපි කිහිපයක් ම ලියුවා. අන්තර්ගතයන් හා ලිපිනයන් වෙනස්. මුල් ම ලිපිය ලියූ දා දැනුණ මිහිර දෙවන තුන්වන ලිපි ලියන විට, සැඟවී යන අයුරු මං උපේක්ෂාවෙන් විඳදරා ගත්තා. අවසන් වසරෙ දි මම අරහෙම ලියුම් ලියපු, කෙනකුගේ ගෙදර ස්ථිර පදිංචි ලිපිනය මට ලැබුණා. ඒ හුඟක් කල් ගත වෙද්දි.

සිරි සුමන හාමුදුරුවෝ කියන කුඩා දිය සීරාව කාල වැලි තලා යට හැංගිලා. ගියා.

මට මුල් ම ගුරු පත්වීම දොරවක විද්‍යාලයට තීන්දු වුණා. මම ඊට තරමක් දුරින් වූ බාලිකා පාසලක සිංහල ගුරුවරියක් ලෙස සේවයේ නිරත වුණා.

දස වසරක් වගේ දිගු කාලයක් ගතවෙලා ගියාට පස්සෙ නැවත සිරි සුමන හාමුදුරුවන් ව මුණ ගැහුණා. ඒ සංස්කෘතික අමාත්‍යාංශය සංවිධානය කර තිබුණු සාහිත්‍ය වැඩසටහනක දී. මා උගන්වන පාසලේ ශිෂ්‍යයන් කිහිප දෙනෙක් ව රැගෙන ඒම වැඩසටහනට සම්බන්ධ වෙන්න නියම වෙලා තිබුණු ගුරුවරි මම. වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයකු වශයෙනුයි උන්වහන්සේ වැඩම කොට තිබුණේ.

රූපය පවා නැසී යනවා කිව්වට උන්වහන්සේ ව හඳුනා ගත නොහැකි අයුරින් රුව වෙනස් වී තිබුණේ නෑ. ඒ වෙන කොට පවුල, රැකියාව වගේ සංස්ථා එක්ක සටන් වැදිලා මගේ යෞවන රුව නම් පැරදිලා වුන්නේ. මාව මේ තරම් දිගු කාලයකට පසුව හඳුනා ගැනීමට පුළුවන්කමක් හාමුදුරුවන්ට නැතුව ඇති කියලා මම නිගමනය කළා. ඒ නිසා වැඩසටහන අවසානයේ මම ම උන්වහන්සේ ට මාව හඳුන්වා දුන්නා.

''ආ... නදිනි"

උන් වහන්සේගේ ආමන්ත්‍රණයේ ස්වරයෙත්, මුහුණේ ඉරියව්වලත් පුදුමය මුසු වූ සතුටක සේයාවක් අභ්‍යන්තරයේ වේලාගෙන සිටින බවක් හැඟවූවා. රැකියාව, විශ්වවිද්‍යාල අධ්‍යාපනය, සැමියා ආදී නොයෙක් මාතෘකා පිළිබඳව සුලබ ප්‍රශ්න කිහිපයක් සිරි සුමන හාමුදුරුවෝ මගෙන් ඇහුවා.

අනතුරුව,

විදත් අබේසේකර යන රචකයා ව දන්නව ද ?" යැයි මගෙන් ඇහුවා.

ඒකීය මාර්ගයක ගමන් කරමින් තිබූ අපේ කතා ප්‍රවාහය නවමු දිශානතියකට හරවපු මේ වදන්.. අර කියන රචකයා මගේ මතකයේ කිසිම අහුමුල්ලක හිටියෙ නෑ.

''නැහැ හාමුදුරුවනේ මම දන්නෙ නෑ"

මම කිව්වා.

''ප්‍රකට රචකයෙක් නෙවේ නදිනි. මගේ ව්ශ්වවිද්‍යාල සගයෙක්. එයා විශ්වවිද්‍යාලයේ පළළමු වසරේ කවි පොතක් කළා. අවසන් වසරේ වාචි පරම කියල කෙටි කතා පොතක් කලා. මම සාමාන්‍යවෙන් කියවන පොත්පත්වල ආකර්ශනීය තැන් වෙනම කොළවල සටහන් කර ගන්නවා. වචි පරම කෙටිකතා පොතේ එක කෙටි කතාවක මං එහෙම සටහන් කරගත්තු උදෘත කොටසක් තමා මගේ අතින් වැරදිලා ඔයාගෙ පොතට ඇවිත් තිබුණෙ. "

ඉතින් ඔය විදියට මට ප්‍රථම ප්‍රේමය අහිමි වුණේ දස වසරක් වගේ දිගු කාලයකුත් ගත වුණාට පස්සෙ. මට මං ගැන ම වූ ලැජ්ජාව යටපත් කරගන්න අමාරුවෙන් වගේ මං එදා මඳ සිනාවක් පැලඳ ගත්තා. අතීත ප්‍රේම නාටකයේ මා විසින් රචනා කර ගත්ත, අතීත ප්‍රේම නාටකයේ මං රචනා කර තිබුණු, තිර පිටපතත් මම ස්වර්ණතිලකාය කියන හැඟීමත්, එදා සුනුවිසුනු වුණා. ජීවිතේ සමහර භෞතික දේවල් අපට අහිමිවෙලා, දිගු කාලයක් ගියාට පස්සෙ තමා ආත්මීයව අහිමිව වෙන්නේ. සමහර අයට දිගු කාලයක් ගිහින් වත් ඒ ආත්මීය අහිමි වීම අත්විඳින්න බැරි වෙනවා.

          

Supem Tissera

unread,
Jul 15, 2024, 10:13:44 PM7/15/24
to INDRAKA
නිස්සංක , ස්තුතිය් . කාලෙකට පසු දැකපු නිස්සංක අහුලපු මිනි කැටයක් (තිරිවානා කැට දැකල ඇති වෙලය් තිබුනේ )
මේ කතාව ලස්සනට ගොතා තියෙනවා. කියවනකොට ඕ හෙන්රි ගේ writing style එකත් මතකයට එනවා. 

Nissanka Rajapaksa

unread,
Jul 16, 2024, 8:19:44 PM7/16/24
to INDRAKA group
7
පොත් කියවන කොල්ලෝ.... 

- අචලා සිරිතුංග 

මං දුවගෙන ඇවිල්ලා කෝච්චියට නැග ගත්තේ දොර වැහෙන්න ඔන්න මෙන්න තියලා. සීත කාලේ වේලසනින්ම ඇවිල්ලා. ගස් වල කොල හැලෙන කාලේ ඉවර වෙලා තිබුනේත් නැහැ. මෆ්ලරයයි බීනියයි නිසා පොඩ්ඩක් සීත අඩු උනත් ඇඟිලි තුඩු පුපුරන තරම් සීතල. සීත කාලේ තදින්ම පටන් ගන්න නිසා වැඩ ඇරුනට පස්සේ මං ගියා පොඩි එවුන්ට සීත ඇඳුම් ගන්න. පොඩි එවුන් ලොකු වෙන එක කොච්චර වේගෙන් සිද්ද වෙනවද කියලා තේරෙන්නේ ඍතුවෙන් ඍතුවට අලුත් ඇඳුම් ගන්න වෙනකොට. 

බෑග් ටිකත් කර ගහගෙන මං අයිනකට හේත්තු උනා. වාඩි වෙන්න ඉඩ නෑ. වාඩි වෙන්න තියා හිට ගන්ඩවත් ඉඩක් නැහැ . වෙනදා වෙලාවට වඩා පරක්කු නිසා වෙනදා නගින කෝච්චි පෙට්ටියට නැග ගන්නත් බැරි උනා. කොහෙද ඉතිං ගෑනුනේ. රෙදි අතගාන්න ගියාම ගෙවල් තියෙනවා කියලා මතක් වෙන එකක් යැ. විශේෂයෙන්ම මෙල්බර්න් සෙන්ට්‍රල් වගේ ශොපින් පලාතකට ආවාම. කොච්චර අතගෑවත් අන්තිමට ලෝකේ බේරගන්න කන්සෙප්ට් ටික මතක් වෙලා පොඩි එවුන්ට විතරක් ඇඳුම් අරන් එනවා. මොකෝ මං ඉතිං උස මහත යනවා කියලායැ. 

පොඩ්ඩක් හරි බරි ගැහිලා වටපිට බැලුවේ අල්ල ගන්න පොල්ලක්වත් තියෙනවද කියලා. එහෙම හිතන කොටම කෝච්චිය ඊළඟ ස්ටේශන් එකේ නවත්තලා ආපහු යද්දි ආපු තෙරපුම අතින් කටින් බෑග් ගොඩක් උස්සන් හිටපු මට දරා ගන්න බැරි උනා. මොකෝ දනි පනි ගාලා උඩ තියෙන පොල්ලක එල්ලෙන්න කියලායෑ. මං ඉතිං බැලන්ස් නැතුව මගේ එහා පැත්තේ හිටපු මනුස්සයගේ ඇඟේ හැප්පුනා. ඒ මනුස්සයා අත දික් කරලා මාව වැටෙන එක නැවැත්තුවේ නැත්තං බෑග් ටිකත් එක්ක මං කාගේ හරි ඔඩොක්කුවක නවතින්න බොහොම ඉඩ කඩ තිබුණා . 

මං බිම බලාගෙන හිටපු නිසා දුඹුරු පාට සපත්තු දෙක විතරයි මෙච්චර වෙලාම දැක්කේ.  

"ස්තූතියි , මාව වැටෙන්න දෙන්නෙ නැතුව නවත්ත ගත්තට" කියලා කියන ගමන් මං උඩ බැලුවා. 

මනුස්සයෙක් කිව්වට හම්මා එළකිරි කොලුවෙක්නේ. එයා ඔළුව හොලවලා මගේ ස්තූතිය පිළි ගන්න ගමන් "ඔයා හොඳින් නේද?" කියලත් ඇහුවා.

" ඔව්, කාගෙවත් ඔඩොක්කුවකින් ඉවර උනේ නෑ වාසනාවට" මං හිනා වෙන ගමන් උත්තර දුන්නා. 

කොලුවා හිනා උනා මගේ උත්තරේ ට. ඊට පස්සේ එයා ටිකක් එහාට ගිහින් මට එයා හේත්තු වෙලා හිටපු පොල්ලෙන් අල්ල ගන්න ඉඩ හදලා දුන්නා. එතකොට තමයි මං දැක්කේ එයාගේ අතේ තියෙන පොතේ නම . 

"Kite Runner- ඒක හරිම ලස්සන පොතක්"

"ඔයා කියවලා තියෙනවාද?"

"ඔව් කාලීඩ් හුසේයිනිගේ පොත් ඔක්කොම ලස්සනයි"

මං පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා අතේ මිරිකගෙන හිටපු බෑග් ටික බිමින් තිබ්බා. ඊට පස්සේ මගේ හෑන්ඩ් බෑග් එකේ තිබුන And the Mountains Echoed පොත ඇදලා එලියට ගත්තා. 

"මේක ඊළඟට එයා ලියපු එක"
මං කිව්වා. 
ඊට පස්සේ කොලුවයි මායි පොත් ගැන කතා කරා. ඇත්තම කිව්වොත් මං හින්දා උගේ පොත් කියවිල්ලට කෙල උනා ! 

අන්තිමට මං බහින තැනත් ලං උනා. එයාට ඕනේ උනා මං මොන පසුබිමකින් ආපු කෙනෙක්ද කියලා දැන ගන්න. එක අතකට ඒක හොඳයි . නැත්තං ඉන්දියාවෙන් ආපු කෙනෙක් කියලා හිතා ගන්න එකට මං කොහෙත්ම කැමති නැහැ .
"ඉපදිලා හැදුනේ වැඩුනේ ශ්‍රී ලංකාවේ "

" මම හිතුවා " කොලුවා කිව්වා.

ඒ කොහොමද යකෝ ඒ? මං එහෙම හිතුවා විතරයි, මගේ මූනේ භාව ප්‍රකාශනය දැකලාද කොහෙද කොලුවා ඒකටත් උත්තර දුන්නා.

"ශ්‍රී ලංකාවේ මිනිස්සු හරි සුන්දරයි . කොයි වෙලෙත් හිනා වෙලා ඉන්නේ"
මං ඉතිං තව මල් මල් හිනාවක් කොලුවට දුන්නා. එහෙම නැතුව කොහොමද ,මෙච්චර කරටියටම නග්ගනකොට! 

" ආව්.. බොහොම ස්තූතියි ! ඔයා මොන පසුබිමකින්ද?"

"ඉටෑලියන්" 

හම්බේ! මට එහෙම කියවුනේ නැහැ හොඳ වෙලාවට. කොහොමත් මං ඉන්න පලාතේ ඉන්නේ ඉතාලි සහ ග්‍රීක් පසුබිම් වලින් එන මිනිස්සු. 

මං බහින තැන ළං උනා. බෑග් ටිකත් එකතු කර ගත්ත මම කොලුවව හමුවීම සතුටක් කියලා කෝච්චි පෙට්ටියේ දොරක් ගාවට ගියා. මේ වෙද්දි සෙනග අඩු වෙලා වාඩි වෙන්න ඉඩ තිබුනත් පොත් වල ගිලිලා හිටපු හින්දා අපිට වාඩි වෙන්න සිහියක් තිබුනේ නැහැ . 

"ඔයා social media වල ඉන්නවද?"

"ඔව් ෆේස් බුක්, ඉන්ස්ටා, ලින්ක්ඩ් ඉන්......but not in tinder" මං පේලියට කියාගෙන ගියා. 

"ඒක නෙවෙයි, you know... guys are too sexy, when they read books " කොලුවා තව මොනවත් අහන්න ඉස්සෙලා මේ මොහොත සුන්දර අත්දැකීමක් කරන්න මං එහෙම කිව්වා.

 කොලුවා කොහොමත් සෙක්සි. පොත් කියවද්දි too sexy වෙන එක අරුමයක් යෑ. එහෙම කියලා මං බැහැලා ආවා. කොලුවගේ මූනේ ආඩම්බරකමයි ලැජ්ජාවයි ස්තුතිවන්තකමයි ඔක්කොම එකට එකතු වෙලා රතු වෙලා තිබුන බව කෝච්චිය මාව පහු කරලා යද්දි මං දැක්කා. එයා මට අතත් වැනුවා. මගේ අත්දෙකේම බෑග් බොලව්. කොහොම වනන්නද අත! 

කෝච්චිය ගියා. කාලෙත් ගියා. කෝච්චියේ පොත් කියවන අය ඕන තරම් හම්බ උනාට කොලුවව නම් ආයේ හම්බ උනේ නෑ.

කෝවිඩ් 19 නිසා අපි හැමෝටම ගෙවල් වලට කොටු වෙලා ඉන්න උනා. කාලේ තිබුනට කරන්ඩ වැඩ අඩු උනා. පුස්තකාල වහලා නිසා පොත් ගන්න තැනකුත් නැහැ . පොත් කඩත් අත්‍යවශ්‍ය සේවාවක් නොවන නිසා වහලා තිබුනේ. 

ඒ අතරේ මට ඇවිල්ලා තිබුනා Upfield train readers කියලා ගෲප් එකක suggestion එකක්. අප්ෆීල්ඩ් කියන්නේ අපේ පැත්තට තියෙන කෝච්චියේ නම. කරන්න මෙලෝ දෙයක් නැති උනාම මූණු පොතෙයි , ඉන්ස්ටා වලයි උඩට පහලට යන වෙලාවක නිකමට වගේ මං ඒ ගෲප් එකේ Join බොත්තම එබුවා. පැයක් යද්දිම Approval එක ලැබිලා මං ගෲප් එකේ සාමාජිකයෙක් උනා. අලුත් ගෲප් එකක්ට බැඳුනාම ඒකේ අන්තෙටම ගිහින් හොයනවනේ. ගෲප් එක පටන් අරන් තිබුනේ කෝවිඩ් 19 නිසා සීමාවන් පනවපු කාලේ. ඉතිං වැඩි දුරක් යන්න ඕනේ නෑ ගෲප් එකේ පළවෙනි පෝස්ට් එක දකින්න. 

පළවෙනි පොස්ට් එක තිබුනේ මෙන්න මෙහෙම. 
'එයාට තිබුනේ තද දුඹුරු පාට ඇස්. කැරලි කොණ්ඩෙ. අත් දෙකෙන්ම බෑග් ගොඩක් අරගෙන කෝච්චිට නැග්ගේ. කෝච්චිය අද්දනකොට එයාව වැටෙන්න ගියා. මං අල්ල ගත්තා. එතනින් තමයි අපි කතා කරන්න පටන් ගත්තේ. මං කියවමින් හිටියේ කාලිඩ් හුසෙයිනිගේ Kite Runner පොත. එයා ඒක දැකලා පොත් ගැන කතා කරන්න ගත්තා. එයා ඒ දවස් වල කියවමින් හිටියේ කාලිඩ් හුසෙයිනිගේ And the Mountains Echoed , එහෙම තමයි එයා විස්තර කරන්න පටන් අරන් තිබ්බේ.

ඈ එතකොට මේ මං ගැනද කියන්නේ? මට එක පාරටම හිතුනා. මේ සිද්දිය වෙලා අවුරුදු තුනක් ! මේ කොලුවා තාමත් මේක මතක තියාගෙන ඉන්නවද? 

ඒකේ තව සෑහෙන ගොඩක් විස්තර තිබ්බා.
ඝර්ම කලාපීය රටක හැදිච්ච නිසා එයා සීතලට කැමති නැහැ . මං සීත ඇඳුම් නැතිව නිකම් ටී ශර්ට් එකක් ඇඳලා හිටපු එක ගැන එයා පුදුම උනා. කෝච්චිය ඇතුලේ සෙනග ගොඩක් නිසා මං ජැකට් එක බෑග් එකට ඔබලා තිබ්බේ. කොලුවා එහෙම ලියලා තිබ්බා. 

ඒ විතරක් නෙවෙයි මං ඇඳලා තිබුණු ඇඳුමේ පාට. මගේ මෆ්ලර් එක මොන වගේද? මගේ පාට ගාලා නැති නියපොතු ගැන. සපත්තු වල පාට. ඒ ඩිංගට මේ යකා බලලා තියෙන තරම!

මං විගහට ගිහින් කොලුවගේ ප්‍රොෆයිල් එක බැලුවා. මේ ඒ කොලුවමද කියලා සැකහැර දැන ගන්න එපෑ. මේ කියන්නේ මං ගැන නෙවෙයි නම්. හත් ඉලව්වේ මේ ඒ කොලුවම තමා. ප්‍රොෆයිල් එක restricted නිසා වැඩි දෙයක් බලන්න බෑ. හැබැයි තියන ප්‍රොෆයිල් පින්තූර දෙක තුනෙන් මේ ඌමයි කියලා මං අඳුර ගත්තා. 

දැන් මොකද්ද කරන්නේ. මං එහෙම හිතලා කමෙන්ට්ස් කියවන්න පහලට ගියා. අප්ෆීල්ඩ් කෝච්චියේ කියවන්නෝ හරි හරි කතා තමයි දාලා තිබුනේ. සමහරු මගේ උප නගරය හැශ් ටැග් කරලා තිබුනා. මම බැහැපු ස්ටේශන් එක අවට තියෙන ඔක්කොම පොත් කියවන සංගම් සහ සංසද එක්ක ඒක බෙදාගෙන තිබුණා. මේ අවට ඉන්නවා නම් එයා කවදා හරි ආයිත් හම්බවෙයි. කියලා ගොඩක් දෙනා දාලා තිබ්බා. තව හොයන්න. බලාපොරොත්තු අතහැර ගන්න එපා. තවත් සමහරු එහෙම කියලා තිබ්බා. 

දැන් මං මේකට උත්තරයක් ලියන්නම ඕනේද? ඇයි ඒ ළමයා මාව හොයන්නේ? මට තිබුණ ප්‍රශ්ණ තමා ඔය! 

ඔන්න ඔහේ මොකක් හරි ලියපං කියලා මගේ හිත කිව්වා. අන්තිමට මං කොලුවව ටැග් කරලා මෙන්න මෙහෙම ලිව්වා.
"ඔයා දන්නවද?, පොත් කියවන කොල්ලො මාර සෙක්සි! " 

 ඔච්චර දේවල් මතක නම් ඒකත් මතක ඇතිනේ මං හිතුවා. විනාඩි දෙකක්වත් ගියේ නෑ මට උත්තරයක් තියෙනවා කියලා notification එකක් ආවා. 

"I finally found her" කියලා ඒකේ තිබ්බා.

ෆ්‍රෙන්චෙස්කො ඩි ලරොස්සෝ කොලුවා ඊළඟ පැයේම මැසෙන්ජර් එකෙන් කතා කලා පොත් ගැන. කමක් නැත්තම් යාලුවෙක් විදියට එකතු කර ගන්න කියලා ෆ්‍රෙන්චෙස්කො ඉල්ලුවා. මගේ දරු පවුල දැකලා ඌ සෙට්ටපොච්චි නොවේවා කියලා හිතලා මං Accept බොත්තම එබුවා!


Nissanka Rajapaksa

unread,
Jul 17, 2024, 6:24:14 PM7/17/24
to INDRAKA group
8
පාට 

- පවිත්‍රා අභයවර්ධන

“ලොකු අක්කලගෙ ටෙන්ත් ඇනිවර්සරි එක පහළොස් වෙනිදලු. අපිටත් එන්න කියන්න කෝල් කළේ. කොව්ඩ් නිසා කට්ටිය සෙට් උනෙත් නෑනෙ කාලෙකින්.”

තරිඳු සෑහෙන වෙලාවක දුරකථන ඇමතුම ඉවර කරලා හිනා කටක් පුරවගෙන ආවෙ. බිම ඉඳගෙන ලෙගෝ හද හද හිටපු දුවව වඩාගෙන ” ඔන්න චූටිටත් අමා අක්කියි බබී අයියයි "හම්බුනෑකි” කිව්වෙ ඒ හිනාවෙන්මයි.

එතනම හිටගෙන සලාද හද හද හිටපු සඳුනිගෙ අත ගැස්සුණා.
කොරෝනා නිසා පවුලේ අය හම්බ නොවී මාස ගාණක් ගත වෙලා. ගොඩක් අය ඒකෙන් දුකෙන් හිටියත් තමන් බැන්දට පස්සේම හිතේ සැනසීමෙන් හිටියෙ මේ කාලෙ නේද කියලා සඳුනිට මතක් උනා. තරිඳු කියන කට්ටිය එකතු වෙනවා කියන්නේ තමන්ගේ හිතේ සැනසීම තව මාස ගාණකට නැති වෙනවා කියන එක බව සඳුනිට මතක් උනා.

පිහි තුඩු වගේ එයාලගෙ කතා මෙතෙක් එල්ල උනේ එක ඉලක්කයකට විතරයි. ඒත් දැන් ඉලක්ක දෙකක් තියෙනවා. 

සඳුනිට වැඩියම බය ඒකයි.

සඳුනි දුව වඩාගෙන ඉන්න තරිඳුගේ පපුවෙ සුදු පාටයි දුවගේ ඊට ටිකක් අඩු පාටයි හිතින් සැසඳුවා. පුරුදු පරිදි දුක් උනා.
---------------------------------------------------------------------------------------------------
හමේ පාට ගැන කිසිම දෙයක් හිතන්නේ නැතිව ගත කරපු තමන්ගේ පොඩි කාලෙයි ඒ ගැන ලොකු අගයක් දෙන තරිඳුලාගෙ පවුලෙ අයගෙ කතා අහ අහ හැදෙන්න නියමිත දුවගෙ ජිවිතෙයි මතක් උනා. 

සඳුනි තළෙලුයි. අම්ම වගේ. තාත්තා සුද්දෙක් වගේ නිසා ඒ පාට ආවෙ මල්ලිටයි නංගිටයි. ඒත් අම්මගෙ ලස්සන එහෙමම ඇවිත් තියෙන්නේ සඳුනිට බව විවාදයක් උනේ නෑ. තාත්තා පොඩ්ඩක් බීපු වෙලාවට අම්මාට “මයි බියුටි ක්වීන්, බලන්නකො මගේ නෝනගෙ ලස්සන අද පාටියෙදි” වගේ කතා කිව්වා මිසක් කවදාවත් දෙන්නගෙ පාට වෙනස ගැන කතා කළේ නෑ.

හමේ පාට කියන්නේ කතා කළ යුතු, සැළකිය යුතු දෙයක් කියලවත් සදුනි දැනගෙන හිටියෙ නෑ. ප්‍රකට බාලිකාවකට ගිය හොදට ඩ්‍රාමා, මියුසික් කරපු කෙල්ලෙක් උන සදුනිගේ දිග ඇහි පිහාටු, ගණකම කොන්ඩේ, මූනෙ ලස්සන “ෆීචර්ස්” මිසක් පාටෙ පාඩු අඩුව කාටවත් දැනුණේ නෑ. 

තමන්ට වඩා තරිදු ටිකක් පාටින් වැඩි බවක් සදුනිට බදිනකම්ම තේරිලා තිබුණේත් නෑ.

ඒ හැමෝටම ඒක ප්‍රශ්නයක් වෙන්න ඇති බව සදුනිට හිතුනේ චාරිත්‍ර වශයෙන් විවාහ මංගල්‍යය ඉවර වෙලා තරිදුගෙ අම්මයි අක්කලායි එක්ක ලොකු අම්මා උන රීටා මම්මගෙ ගෙදර ගියාම. කොලඹ ඉහළම සාප්පුවකින් ගත්තු ඇගේ හැඩ කැපී පෙනෙන වටිනා ගවුමකින් සැරසිලා ඉන්න තමන්ගේ රුව ගැන සදුනිට දෙගිඩියාවක් තිබුණේ නෑ. “මං ලස්සනයි” හැමදාම වගේ කණ්නාඩියෙන් බලලා ඇදුමේ පාටට ගැළපෙන ලස්සන කරාඹු දාන ගමන් ඇය සතුටින් හිතුවා.

“අනේ දෙයියෝ මේ කෙල්ලට අනිත්  හැමදේම දීලා ලස්සනට හමේ පාට දීලා නැති හැටි. දුවගේ පින්තූරෙ පුතා ඉස්සෙල්ලම පෙන්නුවාමත් මම ඒකයි චූටි පුතාට කිව්වේ” තමන් ළග ඉදගත්තු සදුනිගෙ අත අතගගා රීටා මම්මා කිව්වේ හැබෑ දයාවන්ත ස්වරයකින්.

“අම්මා ඩාර්ක් නෙ. ඒකයි නේද? නංගියි මල්ලියි හරි සුදුයි” වහාම උත්තර බැන්දෙ සදුනිගේ නැන්දම්මා. 

සද්ද නැතුව හිටපු තරිදුගෙයි අක්කලගෙයි මූනුයි අක්කලා අතර හුවමාරු උන බැල්මයි දැක්කම ඒක කීප වරක් ඒ පිරිස අතරෙ කතාවෙච්ච මාතෘකාවක් බව හිතන්න සදුනිට අමාරු උනේ නෑ.

එයා ඊට පස්සේ තමන්ව එතන ඉන්න හැමෝම එක්ක සසදලා බැලුවා. ඇත්තනේ, වසයට ගිය රීටා මම්මත්, අම්මත් අක්කලත් තරිදුත් ඔක්කොම තමන්ට වඩා සුදුයිනේ. අලුත් මනමාලි විතරද එතකොට කලු? 

එවලේ රසකැවිලි බන්දේසියක් අරන් සුමනා කුස්සිය පැත්තෙන් මතුවුණ නිසා කතාව එතනින් නැවතුණා. 

“සුමනත් මට වඩා සුදුයි” තමන් කන්නම ආස මුංගුලි, උදුවැල් ඔක්කොම තියෙන බන්දේසිය දිහා බලලා.

“මට මුකුත් එපා” කිව්ව සදුනි හිතුවේ එහෙම.
--------------------------------------------------------------------------------
මගුල් පින්තූර ස්ටුඩියෝවෙන් එව්වම පරිගණක මුහුණතට එබිලත් සදුනි බැලුවේ තමන් කලුද කියලා. නෑයො ඉන්න ෆොටෝවල තමන්ට වඩා කලු අය ඉන්නවද කියලා.
ඊට පස්සේ තැනින් තැන, අවුරුදුද්දට, පවුලේ මගුල් ගෙවල් වලදි සදුනිගේ පාට අඩුව කතා උනා.

“ඔයා ඕව ගණං ගන්න එපා. අම්මල තරහට කියනවා නෙවෙයිනේ.” තරිදු ඒක සිල්ලරට ගත්තට සදුනිගෙ හිත 
නොසෑහෙන රිදුණා.
-----------------------------------------------------------------
බැදලා අවුරුද්දකට පස්සේ බබා හම්බවෙන්න ආව. මාස පහේ ඇනෝමලි ස්කෑන් එකෙන් දුවෙක් කියලා දැනගත්තු ගමන් ආය කතාව මතු උනා.

“ඩොක්ටර්ගෙන් මොනවහරි විටමින් තියෙද අහන්නකො පුතා කම්ප්ලෙක්ෂන් එක හැදෙන්න. කෙල්ලෙක්නෙ” ඒ තරිදුගේ අම්මා. ඇඟේ අමාරු එක්ක නොරිස්සුමින් හිටිය සදුනි තරිදු දිහා බැලුවත් ඒයාගෙ හිතේ ඉන්න පෙම්වත් සැමියා දිය යුතු පිළිතුර තරිදු දුන්නේ නෑ.

“ලබන පාර අහන්නම් අම්මා. “ කිව්වා විතරයි.

“ඇයි ඔයා එහෙම කිව්වේ? “ ආපහු ගෙදර යන්න තමන්ගේ වාහනේට නැග්ග ගමන් සදුනි ඇහුවා. “දුව කලු උනොත් ඔයාට ළමයා එපා වෙනවාද එතකොට?”

“පිස්සුද ළමයො, මට පාට වැඩක් නෑ. මම කවදාවත් ඔයාට ඔය ගැන මුකුත් කියලා තියෙද?”

“ඔයා කිව්වේ නැතුවට වැඩක් නෑ. අනිත් අයටත් කියන්න දෙන්න එපා.”

ගෙදරට යනකම් වීදුරුවෙන් එළිය බලන් නිහඩවෙන්න කලින් සඳුනි කිව්වා.
------------------------------------------------------------------------------------
දුවව අතට ගත්තු වෙලේ සදුනි සැනසුම් සුසුම් හෙළුවා. රෝස පාට බෝලයක් මිසක් ඇය කීපසැරයක් හීනෙන් දැක්ක වගේ කට්ට කලු දුවෙක් නෙවෙයි හිටියෙ.

රත්තරන් චේන් එකක් අරන් ආව නැන්දම්මා ඒකයි ලස්සන ෆ්ලෝරා මල් පොකුරයි සදුනිට දීලා මූණ ඉඹලා තමයි බබා වඩා ගත්තේ.

“සුදු දුවෙක් නේද අම්මා” ඒ තරිදු. 

“ඔව් ඔව්.” කදුලු පිරිච්ච දෑසින් නැන්දම්මා කිව්වේ බබාව පරිස්සමට ඉඹින ගමන්.

“කණ නම් පොඩ්ඩක් පාට අඩුයි. කණේ පාට තමයි නේද වෙනවා කියන්නේ?” ඒ  පස්සෙ ආව ලොකු අක්කා. හොද දෙකක් කියන්න හිතුණත් තමන්ගේ ඉවසිලිවන්ත තම ගැන තවත් විස්වාසය තියපු සදුනි නෑහුනා වගේ ඇස් පියාගෙන හිටියා.
----------------------------------
ලොකු අක්කලගෙ පාටිය ජයටම තිබ්බා. කාලෙකින් සෙල්ලමට වැටුණේ නැති දුවයි අනිත් බබාලයි ගෙට ගන්න බැරිව අව්වේ දැගලුවා. අන්තිමට දවල්ට කවන්න වදෙන් පොරෙන් ගෙට ගද්දි කෙල්ල රතු වෙලා.

නාවගෙන ඇවිත් කවද්දි කම්මුල් රතු වෙලා. 

“කෙල්ල කළු වෙලාද මන්දා පොඩි කාලෙට වඩා. අම්මිගෙ පාටම උනේ නැත්නං හොදයි ලොකු වෙද්දී”

අව්වෙ නටපු ළමයා දිහා බලාගෙන කට හරවා හරවා කියපු තරිදුගේ ලොකු අක්කගෙ මූන දැකපු ගමන් මෙච්චර කල් ඉවසපු ඔක්කොම පැත්තක තියලා මහා රත්වීමක් යටි පතුලේ ඉදන් ඔලුව දිහාට පැතිරෙනවා සදුනිට දැනුණා.

“ආ අපි එයාට තව චුට්ටක් ලොකු උන ගමන් සුදු වෙන්න උගන්නලා ගමුකො” බ්ලීචිං, ෆේෂල් නිති පතා කර කර තමන්ගේ සුද තවත් ඔපමට්ටම් කරන්න වෙහෙස වෙන පොඩි අක්කා 
හවුල් උනේ හිනා වෙවී. 

සදුනි කෙළින් වෙලා අවුරුදු ගාණක් තිස්සේ කියන්න හිතාගෙන හිටපු දෙයක් හිතෙන් වාර සිය  ගානක් පුරුදු වුණු විදියට බොහොම පැහැදිලිව මෙහෙම කිව්වා.

“කෙල්ල මගේ පාට උනේ නැත්නම් හොදයි අක්කේ. ඊටත් වඩා හොදයි කෙල්ලට මට වගේ එයාගෙ ඇගේ පාටින් එයාව මනින මිනිහෙකුයි පවුලකුයි ලැබුණේ නැත්නම්. තමන්‌ගේ අය හිත රිදෙන දේවල් කියද්දි කට වහගෙන ඉන්න මිනිහෙක් නැතුව තමන්ගේ ගෑනි වෙනුවෙන් කට අරින්න පණ තියෙන මිනිහෙක් හොයාගන්න කියල මං කෙල්ලට උගන්නනවා සුදු වෙන්න උගන්නන්න කලින්”

තමන් කවදාවත් ඒ වගේ සැරට කතා කරලා නැති බවත්, තමන්ගෙයි තරිදුගෙයි එයාගෙ පවුලෙ අයයි අතරේ බැදීම කවදාවත් පිළිසකර කරන්න බැරි තරමට පළුදු උනා කියලා දැනගෙනත් සදුනි බය වෙලා වගේ ඉන්න දුවගේ මූන බලලා ආඩම්බරයෙන් හිනා උනා. 

“ඉවසීමෙන් සැනසීම ලැබෙනවා තමයි. හැබැයි හැම තැනදිම නෙවෙයි. මං මෙතනදි ඉවසනවා කියන්නේ මගේ කෙල්ලට ජීවිත කාලෙම හීනමානයක් ඉතුරු කරන එක නං ඒ ඉවසීම වැඩක් නෑ. කෙල්ලට උගන්නන්න, එයා වෙනුවෙන් ඉතුරු කරන්න කලින් මම ඒක කලේ නැත්තං මගේ අම්මාකමෙනුත් වැඩක් නෑ. තරිදු ස්වාමි පුරුෂයාගෙ චරිතෙ හරියට කරේ නැතුවට මම අම්මගෙ චරිතෙ හරියටම කරනවා.” තුෂ්නීම්භූත වෙලා ඉන්න කාගෙවත් මූනු නොබලා දුවට තව බත් කටක් කවලා ඕඩිකොලොන් සුවද හමන චූටි ඔළුව ඉඹලා සදුනි එහෙම හිතුවා.

Nissanka Rajapaksa

unread,
Jul 18, 2024, 7:52:52 PM7/18/24
to INDRAKA group
9
මා අත්තම්මාට අකුරු ඉගැන්වූ හැටි

Translation of the short story ‘How I Taught My Grandmother to Read’ (2004) by Sudha Murthy

- පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

සිසිල සඟරාව - 2024, ජූලි කලාපය. 

මම දොළොස් වියැති තරම් වයසේදී උතුරු කර්නාටකයේ ගම්මානයක මගේ අත්තම්මා සහ සීයා විසූ නිවසේ ඇතැම් කාල වල නතර වී සිටියෙමි. ප්‍රවාහන පහසුකම් ඒ තරම් හොඳ මට්ටමක නොතිබුණු ඒ කාලයේදී අපට උදෑසන පුවත්පත ලැබුණේ හවස් වරුවේ ය. සතිපතා පළ වූ සඟරාව පැමිණියේ දිනක් ප්‍රමාද වූ පසු යි. ගමට පුවත්පත්, සඟරා සහ තැපැල් ගෙන ආ බස් රථය පැමිණෙන තුරු එකල අපි නොඉවසිල්ලෙන් බලා සිටියෙමු. 

මේ කාලයේදී ත්‍රිවේණි නමින් කන්නඩ බසින් ලියූ ඉතා දක්ෂ  ප්‍රසිද්ධ ලේඛිකාවක් විය. ඇය ලියූ දේ කියවීමට පහසු වූවා මෙන්ම ඒවා හදවතට ඉතා ළඟ බවක් දැනුණි. ඇගේ රසවත් කතාවලට බොහෝ විට විෂය වූයේ සාමාන්‍ය මිනිසුන් මුහුණ දෙන සංකීර්ණ මානසික ගැටළු විය. ත්‍රිවේණි අඩු වයසින් මිය යෑම කන්නඩ සාහිත්‍යයට සිදු වූ බලවත් අඩුපාඩුවකි. හතලිස් වසරකට පසු පවා තවමත් රසිකයෝ ඇගේ නවකතා අගය කරති. 

‘කාශි යාත්‍ර’ නම් ඇගේ නවකතාවක් එකල කර්මවීර නම් සතිපතා නිකුත් වූ කන්නඩ සඟරාවක කොටස් වශයෙන් පළ විය. කාශි නගරයට හෝ බරණැසට වන්දනා ගමනක් යන්නට බලවත් ආසාවෙන් සිටි වයස්ගත කාන්තාවක් ගැන මේ කතාව ගෙතී තිබිණි. කාශි වෙත ගොස් විශ්වේශ්වර දෙවියන් ට පුද පූජා පැවැත්වීම උසස්ම පුන්‍යකර්මයක් ලෙස බොහෝ හින්දුවරු විශ්වාස කළ හ. මේ කතාවේ වයස්ගත කාන්තාවත් මේ විශ්වාසයේ එල්බ සිටි අතර මේ ගමන යාමට සැලසුම් කරද්දී ඇතිවූ අභියෝග මෙහි විස්තර කෙරුණි.. මීට අමතරව මේ කතාවේ අනාථ දැරියක් ද විය. ඈ ආදරයෙන් බැඳී සිටියද ඇයට විවාහය සඳහා මුදල් තිබුණේ නැත. අන්තිමේදී වයස්ගත කාන්තාව තමන් කාශි වෙත යාමට එක්රැස් කරගත් මුදල තරුණියට දෙන්නීය. “විශ්වේශ්වර දෙවියන්ට වන්දනා කරනවාට වඩා මේ අනාථ කෙල්ලගේ සතුට මට වැදගත්” ඈ කියයි. 

ක්රිෂ්ටක්කා නම් වූ මගේ අත්තම්මා කිසිදාක පාසැල් ගොස් නොතිබුණු නිසා ඈ කියවීමට දැන සිටියේ නැත. හැම බදාදා දිනකම සඟරාව පැමිණි විට මේ කතාවේ ඊළඟ කොටස ඈට ඇසෙන්නට කියවීමට මම පුරුදු වී සිටියෙමි. මේ වෙලාවට ඈ තමන්ගේ සියලුම වැඩ කටයුතු අමතක කර ඉතා උනන්දුවෙන් මට සවන් දුන්නාය. ඉනික්බිති ඈ මුළු කතාවම මතකයෙන් ආපිට කීවා ය. අත්තම්මා ද කිසිදිනක කාශි වෙත ගොස් නොතිබූ නිසා ඈ කතාවේ කතා නායිකාව සමඟ සිතින් බැඳී සිටියා ය. එබැවින් අන් කවරෙකුටත් වඩා කතාවේ ඊළඟට සිදුවන්නේ කුමක්දැයි දැනගැනීමට ඈ උනන්දු වූ අතර මවෙතින් එය ඇසීමට මඟ බලා සිටියා ය. 

සෑම සතියකම ‘කාශි යාත්‍ර’ කතාවේ සිදු වූ දේ දැනගත් පසු ඈ කෝවිල් බිමේ දී තම මිතුරියන් සමඟ ඒ ගැන සාකච්ඡා කළා ය. කුඩා අප ඒ අවට තැන තැන දුවමින් හැංගි මුත්තමේ යෙදුණු එකල නම් මට ඒ කතාවේ ඒ තරම් අවධානය ලැබිය යුතු දෙයක් නොවැටහිණි. 

වරක් මම විවාහ මංගල උත්සවයකට සහභාගී වීමට මගේ ඥාති සොයුරු සොයුරියන් සමඟ යාබද ගමකට ගියෙමි. ඒ කාලයේ මේවා සුවිශේෂී උත්සව විය. නිරතුරුව රස කෑම ත්, සෙල්ලම් කිරීමට ඉඩ කඩත් ලැබුණු බැවින් අප කාලය ගතකළේ මහත් ප්‍රීතියෙනි. කාර්යබහුල වැඩිහිටියන්ට අප ගැන සොයාබලන්නට ඉඩකඩ නොතිබුණු බැවින් අපි නිදහස උපරිමයෙන් භුක්ති වින්දෙමු. දිනක් දෙකක් එහි නවතින්නට සූදානම් ව ගිය මම අන්තිමේදී සතියක්ම එහි නැවතී සිටියෙමි. 

මා නැවතත් නිවසට පැමිණි විට අත්තම්මා කඳුළු පිරි දෑසින් සිටිනු පෙනුණි. මින් පෙර ඉතා දුෂ්කර අවස්ථා වලදී පවා ඈ කිසි විටෙක හඬනු නොදැක තිබූ නිසා එය දැක මම පුදුමයට පත් වුණෙමි. 

“ඇයි අව්වා? මොකක් හරි ප්‍රශ්නයක් ද?” මම ඇසුවෙමි.

මා ඇයට ‘අව්වා’ කී අතර උතුරු කර්ණාටකයේ භාවිත වුනු කන්නඩ බසට අනුව එහි තේරුම ‘අම්මා’ විය. ඈ හිස වැනුවත් පිළිතුරු දුන්නේ නැත. ඇගේ කනස්සල්ලට හේතුව මට නොවැටහුණු අතර ටික වෙලාවකින් මට එය අමතක විය. එදින රාත්‍රී අහාරයෙන් පසු අප නිදාගත්තේ ඇගේ නිවසේ විවෘත බරාඳයේ යි. එය ගිම්හාන රාත්‍රියක් වූ අතර අහසේ පුන් සඳක් පායා තිබුණි. අත්තම්මා මගේ හිස පිරිමදිමින් සිටියා ය. ඈට මා හට යමක් කීමට අවශ්‍ය බව මට දැනුණි. 

“ඇයි අව්වා?”මම නැවතත් ඇසුවෙමි. 

“මම පුංචි කාලේ මගේ අම්මා නැතිවුණා. ඒ නිසා මාව බලාගන්නවත් මට මඟ කියන්නවත් කවුරුවත් හිටියේ නැහැ. මගේ තාත්තා හරියට වැඩ රාජකාරි තිබ්බ කෙනෙක්. එයා වැඩි කලක් යන්න කළින් ආයෙත් විවාහ වුණා. ඒ කාලේ ගෑනු ළමයි ඉගෙන ගන්න වුවමනායි කියලා කවුරුත් සැලකුවේ නැහැ, ඒ නිසා මම කවදාවත් ඉස්කෝලේ ගියේ නැහැ. බොහොම අඩු වයසකින් මම කසාද බැන්දා, දරුවෝ ලැබුණා. ජීවිතේ බොහොම කලබල වුණා. තව කාලයක් යද්දී මට මුනුපුරු මිනිපිරියොත් ලැබුණා. ඔයාලා හැමෝටම කන්න උයලා දෙන එක මට ලොකු සතුටක් වුණා. ඉස්කෝලේ යන්න බැරි වුණ එක ගැන මට දුකක් දැනුණා තමයි, ඒත් මගේ ළමයින්ටත් එයාලගේ ළමයින්ටත් හොඳින් ඉගෙන ගන්න ඉඩ දෙන්න මම හැමදාම මහන්සි වුණා.”

ඒ රැයේ මැදියමේදී මගේ හැට දෙහැවිරිදි අත්තම්මා, දොළොස් හැවිරිදි මට තම ජීවිත කතාව කියන්නේ ඇයිදැයි මට වැටහුණේ නැත. එහෙත් මා ඈට බෙහෙවින්ම ආදරය කළ අතර ඈ මේ විස්තර කීමට හේතුවක් තිබිය යුතු බව මම දැන සිටියෙමි. ඇගේ මුහුණ බලද්දී එහි කනස්සලු පෙනුමත් ඇගේ දෑසේ පිරුණු කඳුලුත් මට පෙනුණි. ඈ සාමාන්‍යයෙන් නිතරම සිනා මුසු ව සිටි සුන්දර කාන්තාවකි. එදා ඇගේ මුහුණේ වූ දුක්මුසු පෙනුම අදටත් පැහැදිලි ව මගේ මතකයේ රැඳී ඇත. ඉදිරියට නැඹුරු වූ මම ඇගේ අත ගත්තෙමි. 

“අව්වා, අඬන්න එපා, මොකක්ද ප්‍රශ්නේ කියලා මට කියන්නකෝ. මට උදව්වක් කරන්න පුළුවන් දෙයක් ද?”

“ඔව් මට දුවගේ උදවු ඕන. ඔයා ගෙදර නොහිටි අතරේ වෙනදා වගේම කර්මවීර සඟරාව ආවා. මම ඒක පෙරළලා බැලුවා, කාශි යාත්‍ර කතාව එක්ක තියෙන පින්තූරේත් මම දැක්කා. ඒත් මට ඒ කිසි දෙයක් කියවාගන්න බැරි වුණා. ඒ කියලා තියෙන දේ තේරුම් යයි කියලා ප්‍රාර්ථනා කරමින් මම ඒ අකුරු කීප පාරක් අතගෑවා. ඒත් ඒක එහෙම නොවෙන බව මම දැනගෙන හිටියා. අනේ මම අකුරු ඉගෙන ගත්තා නම් කියලා මට හිතුණා. දුව එනකම් මම මඟ බලාගෙන හිටියා. මට හිතුණා ඔයා වේලාසන ඇවිත් මට කතාව කියවයි කියලා. මට වෙලාවකට හිතුණා ඒ ගමට ඔයාව හොයාගෙන ඇවිත් ඔයාට සඟරාව දීලා කතාව කියවගන්න. මට ඒක මේ ගමේ වෙන කෙනෙකුට වුණත් කියලා කරගන්න තිබුණා, ඒත් මට එහෙම කරන්න ලැජ්ජා හිතුණා. මට දැනුණේ මහා අසරණ, ගැති බවක්. අපිට හොඳින් සල්ලි බාගේ තියෙනවා, ඒත් ස්වාධීන වෙන්න බැරි නම් සල්ලි වලින් වැඩක් තියෙනවද?”

කීමට කිසිත් සිතාගනු නොහැකිව මම නිරුත්තර වූයෙමි. අව්වා තව දුරටත් කතා කළා ය. 

“මම තීරණය කළා මම හෙට ඉඳන් කන්නඩ අකුරු ලියන්න කියන්න ඉගෙන ගන්නවා කියලා. ඒකට මම බොහොම මහන්සි වෙන්න ලෑස්තියි. දශේරා උත්සව කාලේ සරස්වතී පූජාව තියන දවස වෙද්දී ඒක කරගන්න තමයි මම හිතාගෙන ඉන්නේ. එදාට මට තනියම නවකතාවක් කියවන්න පුළුවන් වෙන්න ඕන. මට ස්වාධීන වෙන්න ඕන.”

ඇගේ මුහුණෙහි  වූ අධිෂ්ඨානය දුටුවත් මට සිනා පහල විය. 

“අව්වා, වයස අවුරුදු හැට දෙකක් වෙලා ඔයාට අකුරු ඉගෙන ගන්න හිතුණා? ඔයාගේ කොන්ඩෙත් සුදු වෙලා, අත් දෙකත් රැළි වැටිලා, ඔයා කණ්ණාඩි දානවා, කුස්සියේ වැඩත් සෑහෙන්න තියෙනවා…”

බොළඳ දැරියක ලෙසින් මම ඇයට විහිළු කළෙමි. එහෙත් ඈ සිනාසුණා පමණයි. 

“හොඳ දෙයක් වෙනුවෙන් මහන්සි වෙද්දී බාධක ජය ගන්න පුළුවන්. කාටත් වැඩියෙන් මහන්සිවෙලා මම කොහොම හරි ඒක කරගන්නවා. ඉගෙනීමට වයස් සීමාවක් නැහැ.” 

ඊට පසු දින සිට මගේ ඉගැන්වීම ඇරඹිණි. අව්වා අපූරු සිසුවියක් විය. ඈ සම්පූර්ණ කළ ගෙදර වැඩ ප්‍රමාණය මා මවිත කළේ ය. ඉගැන්නූ දේ කිහිප වතාවක් කියවමින්, ලියමින්, වර නඟමින් ඈ උගත්තා ය. මා ඇගේ එකම ගුරුවරිය වූ අතර ඈ මගේ පළමු ශිෂ්‍යාව වූවා ය. මා පසු කලෙක පරිගණක විද්‍යාව විෂයේ ගුරුවරියක් වී සිසුන් දහස් ගණනකට උගන්වනු ඇතැයි එකල මා දැන සිටියේ නැත. 

දශේරා උත්සව සමය එළඹිණි. ඒ වෙද්දී කාශි යාත්‍ර කතාව නවකතාවක් ලෙස පළවී තිබුණු අතර මා එය රහසින් මිළදී ගෙන තිබිණි. දිනක් පූජා මණ්ඩපය වෙත මා කැඳවූ අත්තම්මා, මා නූස් අසුනක හිඳුවා, මට ගවුම් රෙද්දක් තෑගි කළා ය. ඉනික්බිති අමුතු දෙයක් කරමින්  බිමට නැඹුරු වූ ඈ මගේ දෙපා අල්ලා නමස්කාර කළා ය. මහත් පුදුමයට පත්වූ මම මඳක් පසුබෑවෙමි. වැඩිහිටියන් කිසි විටෙක දරුවන්ට නමස්කාර කරන්නේ නැත. සාමාන්‍යයෙන් මෙලෙස නමස්කාර ලබන්නේ දෙවියන්, වැඩිහිටියන් සහ ගුරුවරුන් පමණක් වූ අතර එය ගෞරව දැක්වීමේ ක්‍රමයක් විය. එහෙත් එදින සිදු වූයේ මේ විශිෂ්ඨ චාරිත්‍රයේ අනෙත් පැත්තයි. එහි නොගැලපෙන බවක් මට දැනුණි. 

“මම මේ පාද නමස්කාර කරන්නේ මගේ මිනිපිරියගේ නෙමෙයි, මගේ ගුරුවරියගේ. දුව මට බොහොම ආදරයෙන්, කෙටි කාලයක් ඇතුලත හරිම සාර්ථක ව අකුරු ඉගැන්නුව නිසා මට දැන් බය නැතිව ඕන කතා පොතක් කියවන්න පුළුවන්. දැන් මම ස්වාධීනයි. ගුරුවරයෙකුට ගෞරව දක්වන එක මගේ යුතුකමක්. අපේ පුරාණ පොත පතේ කියලා තියෙනවා නේද වයසවත්, ගෑනු පිරිමි කම වත් නොසලකා ගුරුවරුන්ට ගෞරව කරන්න කියලා?” අත්තම්මා කීවා ය. 

ආපිට අත්තම්මාගේ දෙපා නමස්කාර කළ මම මගේ පළමු සිසුවියට ගෙන ආ ත්‍යාගය දුන්නෙමි. එය විවර කළ  වහාම ඈ ‘ත්‍රිවේණි ලියූ කාශි යාත්‍ර’ යනුවෙන් එහි නමත් කතෘගේ නමත් කියවූවා ය. 

මගේ සිසුවිය ඉහළින්ම සමත් ව ඇති බව එයින් මට වැටහිණි. 


Nissanka Rajapaksa

unread,
Jul 19, 2024, 7:29:01 PM7/19/24
to INDRAKA group
10
බැරලය 

 - දිමුත් කුලරත්න 

“ඕං බලාපියෝ..... බැරල් එකක් පාවෙනෝ.....” හොට්ටාගේ බෑඟිරි ගැසීම අපගේ අවධාවනය දිනාගත්තේය.  කොළු කෙළි නඩය සිය සෙල්ලම් නැවැත්වූයේ හොට්ටාගේ පුදුමයට හේතු වූ පාවෙන බැරලය හොඳින් බලාගැනීමේ අභිප්‍රායෙනි. සැබෑවකි. වත්තේ ඉදිරිපස සීමාව වන බාගෙට ගරාවැටුණු තාප්පයේ ඉහළ මායිමට උඩින් පාවෙමින් එන්නේ රතු පැහැති තාර බැරලයකි.
“ඒ බැරල් එක පාවෙනවා නෙවෙයි..... කවුදෝ ඒක උස්සං එනව.... ගොනා....” අක්කා හොට්ටාගේ හිස් මුදුනට ටොක්කක් ඇන්නාය. පාවෙනවාක් වැනිම වූ බැරලය දෙපස රැඳුණු කුඩා අත් දෙකක සේයාව අප දුටුවේ එවිටය.
“ ෂා...... ඒක නෙවෙන්නං බේබි. මං උන්නෙම ඒක පාවෙවී එනවා කියලා....” හොට්ටා කීවේ ලැජ්ජාව වසාගැනීමේ උත්සාහයක යෙදෙමිනි.
එවිටම වාගේ බැරලය උස්සාගෙන පැමිණෙන්නා තාප්පයේ වූ විවරය - නොහොත් වත්තේ ප්‍රධාන පිවිසුම - තුලින් වත්තට ඇතුළු විය. දැළි අඟුරක් මෙන් කළුපාටැති, පැන්සල් කූරක් මෙන් සිහින් ගැහැණියක වූ බැරලය ඔසවා ආ තැනැත්තිය වත්තට පාතැබූ විගස බැරලය බිම තැබුවාය. බැරලයේ බරට දෙකට නැවුණු කොන්ද දිගහැර වටපිට බැලූ ඇය සිය ඇඳුමේ අතින් මුහුණ හරහා ගලාගිය ඩහදිය ගංගාව පිසදැමුවාය. ඇගේ කොණ්ඩය අවුල් වී කෙහෙරොද කම්මුල් මත වැටී කළුවන් මුහුණ තවත් විරූපී කර තිබුණි. ඇඳිවතද ඩහදියෙන් පෙඟී සිරුරටම ඇලී තිබුණේ පැන්සලයකට වඩා මඳක් පිරිපුන් ඇය මේ බැරලය උස්සාගෙන ආවේ කෙසේදැයි මා තුල විමතියක් ඇති කරවමිනි.
“ආ... මේ එමලි නැන්දනෙ.... නැන්ද අපිට සෙල්ලං කරන්න ටොප්ස් භාණ්ඩයක්නෙ ගෙනැල්ල තියෙන්නෙ....” චුට්ටේ බැරලය වෙත දිවගියේ මේ මහානර්ඝ වස්තුව තම කෙළිලොල් ලොවට රැගෙන යාමටය. කොළුකෙළි නඩයේ ඇතැමුන් චුට්ටේ පසුපස දුවන්නට වූයේ එයට සහය පිණිස වුවද බැරලයේ හිමිකාරීත්වය දරණ මේ කේඬෑරි ගැහැණිය වහා එයට හරස් වූවාය.
“ බොලාට පිස්සුද? අත තියෙනවා හෙම නෙවෙයි මේකට.... මං මේ ටවුමෙ ඉඳන් මෙච්චර දුරක් උස්සගෙන ආහම මට උදව්වක් දෙනව නෙවෙයි....... උඹලට මේක සෙල්ලමක්. පලයල්ලා අහකට.....” සිය වැල්කෝටු අතපය හතර වටේට වැනූ ගැහැණිය වහාම බැරලය බදාගත්තාය. එහාටත් මෙහාටත් සෙලවුණු බැරලය මඳ වේලාවකට පසු නැවතත් පාවෙන්නට ගත්තේ එයට යටවී දෙකට නැවුණු එමලිගේ දර්ශනය අපට මනාව පෙන්වා දෙමිනි.  බැරලයේ බරින් දෙකට නැවුණු ඇය ටවුමේ සිට මෙතෙක් දුර මෙය රැගෙන ආවේ කෙසේදැයි යන්න පිළිබඳ මට පුදුම නොවී සිටිය නොහැකි විය. එය මාංශ ශක්තිය පිළීබඳ නොව චිත්ත ශක්තිය පිළිබඳ මනා නිදසුනක් විය යුතුමය.
බැරලයට යටවුවද එමලිගේ කට කියවීම නැවතුනේ නැත. “මං මේ කැහැටු තනි ගෑණියෙක් නේද කියල උංට හිතන්න බැරි උනානෙ... උංට මේක ජෝක්... නැත්නං මේක ටවුමෙ ඉඳල මේ වත්තට උස්සං එන්න උදව් වෙන්න උංට බැරි මොකෝ... හනේ අම්මප මෙහෙමත් පිරිමි...තූඃ” කියවමින්ම ඉදිරියට ඇදුණු ඇය අප දෙදෙනා පසුකරගෙන යන විට කුතුහලය රැඳි විමසුම් දෑසකින් අප දෙස බලා සිහින් සිනාවක් නංවා ගත්තාය. ඇඳුමෙන් පැළඳුමෙන් අප මේ වත්තේ දරුවන් නොවන වග ඇය හඳුනා ගන්නට ඇත. එමලි අප පසුකර ගිය පසු කොළුකෙළි නඩයේ ඝෝෂාව නැවත ඇරඹුණි. අතරමඟ කඩාකප්පල් වුණු සෙල්ලම නැවත පටන් ගැන්මට ළමුන් අතර තර්ක මතුවන විටත් මගේ මනස එමලි වෙතට යොමුවූ ගමන්මය. මට ඇය නිසා සිහිපත් වූයේ අපේ අම්මාය. ඒ ඇයත්, මැයත් අතර ඇති සමානතාවයක් නිසා නම් නොව, දෙදෙනා අතර ඇති අතිශය අසමානතාව නිසාය. සුවපහසු නිවහනකට වී කමින් බොමින් සැපසේ දවසරින, මේ දැන් මේ ගැහැණිය ඔසවාගෙන ආ බැරලය තරම් තප්පදෝරු ශරීරයක් ඇති අම්මාට පුංචි සිමෙන්ති මල් පෝච්චියක් ඔසවන්නටද තාත්තාගේ සහය අවශ්‍යය. “අනේ සැමී.... ඩාලිං... මට මේ මල් පෝච්චි ටික අතනට මූව් කරගන්න පුංචි හෙල්ප් එකක් දෙන්නකෝ...” සෑම සති අන්තයකම උදෑසන අම්මාගේ මුවින් මේ වචන පෙළ පිටවෙයි. ඇයට ආඩපාළි කියමින් වුවද තාත්තා ඒ උපකාරය කරන්නට ඉදිරිපත් වෙයි.
“අනේ මංදා සුබී....කොච්චර කෑවත් ඔයාට මේ පොඩි වැඩක්වත් තනියම කරගන්න බැරිහැටි..... බලන්නකෝ රටේ ලෝකේ වෙන ගෑණු වැඩ කරන හැටි...... ජොබ් එකට ගිහිල්ල ඇවිල්ල විතරක් මදි පොඩ්ඩක් ඇඟ වෙහෙසල එක්සයිස් ටිකක්වත් කරන්න.”
එය අම්මා අපහසුතාවයට පත් කිරීමට තාත්තා හිතාමතා පවසන විහිළුවක් යැයි මෙතෙක් සිතාසිටියද, තාත්තාගේ කීම අතිශයින් නිවැරදි වග මට පසක් වූයේ අද එමලිගේ මේ බැරල් ව්‍යායාමය දුටු පසුවය.
බැරලය ඔසවාගෙන වැනි වැනී යන එමලි විහිළුවක් වී ඇත්තේ අපට පමණක්ම නොවන බව පෙනී ගියේ ඇය පසුකර යන්නට පැමිණි වත්තේ තරුණයෙකු ඇයව ඔච්චමට ගන්නා විටය.
“ආ..... එමලි අක්කේ..... මොකෝ බං මේ හති හලාගෙන? කවුරුවත් නැද්ද උඹට උදව්වට?” 
“ඒකනේ බං.... උඹටවත් බැයිද මේං මේක මයෙ ගේ දිහාවට උස්සගෙන ගොහින් දෙන්න?”
“බැරල් නං උස්සං යන්න බෑ බං....... ඕනෙ නං මං උඹව උස්සගෙන යන්නං......” වාචාල තරුණයාගේ පිළිතුර විය. එමලි ක්ෂණයෙන් කෝප වූවාය.
“ අනේ මේ.... මගෙ කට අවුස්සගන්න එපා වරත්තුවා..... මාව නෙවෙයි උස්සගනිං උඹේ අහවල් එක” තරුණයාට බැණවදිමින්ම එමලි නැවතත් ගමන් ඇරඹුවේ ඔහුගේ සමච්චල් සිනාහඬ මධ්‍යයේය.
එමලිගේ සහ බැරලයේ මෙම සිදුවීම් මගේ සිත කොතරම් තදින් වෙලාගත්තද අක්කාට නම් එහි වගේ වගක් නැති හැඩය. ඇය නැවතත් සෙල්ලම අරඹා අපෙන් ඈතට ගොස් ඇති කොළු කෙළි නඩය දෙසට නෙත් යොමාගෙන සිටියේ මගේ පමාව ගැන නොඉවසිලිමත්වය. “යං මල්ලී.... අන්න අර කට්ටිය ආයෙත් සෙල්ලම පටං ගත්තා....” කියමින් ඇය එදෙසට දිව ගියාය. මමත් ඇය පස්සේ වැටුණෙමි.
බැරලය නිසා කඩාකප්පල් වුණු සෙල්ලම නැවත ඇරඹිණ. බට්ටන් පැනීම මෙවර අපගේ ක්‍රීඩාව විය. මෙවර සෙල්ලමට තවත් කොල්ලෙකු අළුතෙන් එක්වූ අතර අපි සියල්ලෝම සුපුරුදු කෙළිදෙලෙන් ක්‍රීඩාවේ නිරත වීමු. 
පාසැල් නිවාඩු සමයේ නිවසට හොරෙන් මෙසේ හෝ ක්‍රීඩාවක නිරත වන්නට ලැබීම මටත් අක්කාටත් මහත් ආස්වාදයක් විය. විශාල බිත්ති හා තාප්ප අතර සිරවී උස්මහත් වන අප දෙදෙනාගේ සමාජයට අනුව මුඩුක්කු දරු දැරියන් වන මොවුන් සමඟ අප සෙල්ලම් කරන බව අම්මා දන්නේ නම්.......! අප දෙදෙනාව හදනවා නොව ඉබේ හැදෙන්නට අරිනවා යැයි  අම්මාච්චි පවසන වදන් නිවැරදිය. සතියේ දින හතම රැකියාවටත්, ස්වකීය පැලැන්තියේ මහන්තත්වය පෙන්වන ප්‍රියසාද වලටත් වැයකරන අම්මාටත් තාත්තාටත් හොරෙන් මෙලෙස විනෝද වීම කිසිසේත්ම අසීරු වැඩක් වූයේ නැත. අම්මාච්චිගේ ඇස වසා දිවාකාලයේ හොරෙන් පැනගන්නා අපි මේ වත්තේ දරුවන් සමඟ එකට සෙල්ලමට වැටී පැය දෙක තුනක් සතුටින් ගතකර කිසිවක් නූනාක් මෙන් නැවත නිවසට පැමිණෙන්නෙමු.
“ අපෝ මේක ඇති බං..... මට බෑ....” බට්ටන් පැනීමෙන් හතිවැටුණු ජිල්බා පැවසීය.
“ ඔව්.... මේක කම්මැලියි. අපි වෙන සෙල්ලමක් කරමු” ඒ බතලී ය.
“ අපි හැංගිමුත්තං කරමුද?” අක්කාගේ යෝජනාව ඉහළින්ම සම්මත විය. මුලින්ම සොයන්නට සිදුවූයේ ටකරමාටය. ඔහු දෑස් පියාගෙන මහ හඬින් ගනන් කිරීම ඇරඹීය. අපි සැවොම වත්තේ ගස් ගල් පීරමින් සැඟවුම් ස්ථාන සොයන්නට වීමු. මම සැඟවෙන්නට දිවගියේ වත්තේ ගෙවල් මංඩිය දෙසටය. එහි වූ ගරාවැටුණු බිත්ති කණ්ඩියකට මුවා වූ මම විමසුම් දෑසින් බලා සිටියේ ටකරමාගෙන් වහන් වී සිටීමටය. 
“චිත්‍..රෝ....... චිත්...රෝ.....” මා සැඟවී සිටි ස්ථානයට ඉතා නුදුරින් හුරුපුරුදු කටහඬක් නැගී ආවේය. මා එළියට එබුණේ කටහඬ කාගේදැයි හරියටම බලාගැනීමටය. නිවැරදිය. ඒ එමලි ය. ඇය අසලින්ම වූයේ බැරලයයි. නමුත් මෙවර එය බැරලයක් නොව බැරල් බාගයකට වඩා මඳක් වැඩි වූවකි. ඊට යාබදව තවත් බැරල් බාගයක් විය. එය නිල් පාට එකකි. හැඳසිටි සායට උඩින් චීත්තයක් ඉණ දවටාගෙන උන් ඇය මෙවර බැරල් සමඟ තවත් කර්තව්‍යකට සූදානම් වන බවක් පෙනීගියේය. චිත්‍රා යැයි සිතිය හැකි කෙල්ලක අහල පහළ ගෙයකින් නික්ම එමලි වෙත යනු මට පෙනුණි. ටකරමාට නොපෙනෙන්නට වහන් වී සිටියද මට එමලිගේ බැරල් ව්‍යායාමය මැනවින් දර්ශනය විය. 
“ ඈ අක්කේ... උඹට ඕඩරේ හම්බුවෙච්චි හැඩයි” එමලි අසලට පැමිණි චිත්‍රා ඇසුවාය. 
“ ඔව් බං... දෙයියනේ කියල මෙදා අවුරුද්දට කොල්ලො දෙන්නට ඇඳුං ටිකක් කාරිය ගන්න පුළුහං වෙයි..... අනේ නංගියේ මට මේ බැරල් දෙක හෝදගන්න පොඩි උදව්වක් දියංකො.”
“ කෝ.... දීපං මට එකක්” නිල් බැරලය අසලට පැමිණි චිත්‍රා එය රෝල් කරමින් අසල ඇති කරාමය වෙත යන්නට වූවාය. 
“ හපොයි බං.... ඔහොම පෙරළුවොත් ඕක ඉක්මන්ටම මළකඩ කාවි. ඕක හොඳට පරිස්සං කරගන්න වෙනවා. අද වැඩේ හරිගියොත් නිතරම මේ වගේ පාටි වලට කෑම හදන්න ඕඩර් අල්ලල දෙනව කිව්ව....”
ගැහැණු දෙන්නා කඩිසරව කාර්යයේ නිරත වූහ. දෙදෙනාගේම අත් යුහුසුළුව බැරල් මත දිවගිය අතර මඳින් මඳ බැරල් බාග වල දූවිලි පැහැය නැතිවී දීප්තිය මතුවන්නට විය. අත් වැඩ කරන තරමටම ඔවුන්ගේ කටවල්ද වැඩ කරන්නට විය. 
“ඇත්ටටම අක්කේ.... පාටි වලට දැං ඉඳිආප්පත් දෙනවැයි?”
“මොකෝ බං නැත්තේ..... දැං ස්ටැයිල් එක ඒකනේ..... හැමෝම සිරිලාංකික වෙලා නේ..... ලොකු ලොකු ගෙවල් වල පාටි වල දැං රයිස් තරමටම ජනප්‍රියයි බං ඉඳිආප්ප, ආප්ප, සම්බෝල, පොලොස් හෙම........ මට ඕඩරේ දුන්නු නෝනලැයි ගෙදර සති තුන හතරකට සැරයක් පාටියක් දානවමලු. ඒකට කියන්නේ බං....... මොකද්ද මේ.... කිටි පාටි කියලලු. අද වැඩේ හොඳට තිබුණොත් මට නෝනගෙ යාළු ගෙවල් වලත් කෑම ඕඩර් අල්ල දෙනවැයි කිවුවා....”
“ එහෙනං උඹෙත් ලක් එක පෑදිල”
“ ලක් ද හිලක් ද නං තාම දන්නෙ නෑ බං..... කොහොමිං හරි කාල ඇඳල ඉන්න අත මිට තිබුණොත් ඇති. අනේ කෙල්ලෙ මට සම්බෝලෙ කොටල දියං හරිද......? මං උඹටත් කීයක්වත් දෙන්නංකෝ. නැහ්නං වෙලාවත් මදිවෙයි මේ ඉඳිආප්ප ටික තම්බල ඉවරයක් කරගන්න. හත වෙද්දි ගිහිං දෙන්නත් එපෑ....”
“උඹ මේව කල් තියා ලෑස්ති කරගන්න එපෑ”
“කෝ බං ඉතිං මට උදව් කරන්න මොකාද ඉන්නෙ. යංතං අර විපුලයව අල්ලගෙන මේක දෙකට කපල හිල් ටික විද ගත්තෙ නැත්නං ඉඳිආප්ප තැම්බිල්ලත් ඉවරයි.... වට්ටි ටික නං මං කල් තියාම හෝදල වේලල තියාගත්ත”
ගැහැණුන්ගේ කතාව අතරතුරදී ටකරමා නැට්ටීව සොයාගෙන ඇතිබව මා දුටුවෙමි. නැට්ටී හැංගිමුත්තං සොයන්නට සූදානම් වන විට මම නැවතත් මගේ සැඟවුම් ස්ථානයේ ගුලි ගැසුණෙමි. අවස්ථා කිහිපයකදීම සොයන්නන් මාරු වූ නමුදු කිසිවෙකුටත් මා සොයාගැනීමට හැකිවූයේ නැත. එබැවින් හැමවිටම මම සුපුරුදු සැඟවුම් ස්ථානයටම රිංගා ගතිමි. ඒ සඳහා තවත් හේතුවක් වූයේ එමලිගේ බැරල් යුද්ධයට මගේ සිත තදින්ම ඇදී තිබීමයි.
මේ වන විට සෝදන ලද බැරල් බාග අව්වේ වේලෙමින් තිබුණු අතර එමලි හෝ චිත්‍රා හෝ පෙනෙන්නට සිටියේ නැත. ඈතින් ඇසෙන හැංගිමුත්තන් සොයන්නා සීයට ගනන් කරන හඬ පරයමින් එමලිගේ අගුව දෙසින් ඇසෙන්නට වූයේ පොඩි එකෙකුගේ කං කෙඳිරියකි. දරුවාට බඩගිනි වී ඇති සෙයකි.
“අනේ වස්තුවෙ...... ඩිංගිත්තක් ඉඳහංකො මේ කිරිහොද්ද  උයාගන්න කල්. ඊට පස්ස ටාර් ගාල සම්බෝලෙ කෙටුව පුතාට කැව්ව.... රත්තරං එතකල් වාඩිවෙලා ඉඳහංකො මයෙ අම්මා....”
“බෑ... මට බඩගිනියි. මට බෑ... මට බෑ... බෑමයි.” දරුවා පළි දරයි. හිස මඳක් ඉහළට ඔසවා බැලූ මට නිර්වස්ත්‍රව සිටින කැහැටු දරුවෙකු දර්ශනය විය.
“හිටහංකො වස්තුවෙ මං උඹව අයියට දෙන්න... පුතා අයියත් එක්කල සෙල්ලං කරන්න. මං සුටුස් ගාල උයල ඉවරවෙලා මයෙ වස්තු කැටේට කවන්නං හොඳේ” කියමින් දරුවා අස්වැසූ එමලි ගෙපිළට පැමිණ උස් හඬින් කෑගෑවාය. 
“පුතේ රසිකෝ.... රසිකෝ.... කෝ උඹ.....? මේං මේ මල්ලිවත් ගනිං උඹලෑ ඔය සෙල්ලමට”. 
ඇගේ කෑගැසීමට ප්‍රතිචාර දැක්වූ බණ්ඩියා පැමිණ දරුවාව සෙල්ලමට ගත්තේ හැංගිමුත්තං හොයන්නාගෙන් මඳ විරාමයක් ලබාය. බණ්ඩියාගේ නම රසික බව මා දැනගත්තේ එවිටය.
අනතුරුව බාධාවකින් තොරව සෙල්ලම තව දුරටත් ක්‍රියාත්මක විය. සියල්ලන්ටම හැංගිමුත්තම විනෝදජනක වූ බැවින් සැවොම ඉතා උනන්දුවෙන් ඒ සඳහා සහභාගී වූහ. අඩපැයකට මඳක් වැඩි කාලයක් ගෙවී ගියේය. 
“උංඩි... මයෙ වස්තුවේ... වරෙං උඹට බත් කවන්න” එමලිගේ ඝාණ්ඨාර නදින් මගේ සිත නැවතත් එමලි දිශාවට යොමුවිය. බෙලෙක් පිඟාන අත්ල මත තබාගෙන පිළේ සිටගෙන සිටින එමලි බත් ගුලි කරමින් දරුවා සොයන්නට විය. 
“රසිකෝ... පුතේ මල්ලිට එන්න කියහං...”
“මල්ලි මං ළඟ නැතෝ” ඒ බණ්ඩියාගේ පිළිතුරය.
“ඈ බොල.... මං මල්ලි බාර දුන්නෙ උඹටනෙ. දැං උඹ දන්නෑ කියල හරියනවද....? හොයාපං බලන්න ඌ... මං උඹව හම ගහන්න කලියෙං...”
එමලිගේ කෑගැසීම අපගේ සෙල්ලමට තිත තැබීය. සියළුදෙනා එමලිත් බණ්ඩියාත් සිටි තැනට රැස්වූයේ බණ්ඩියාගේ හම ගැළවෙනු බැලීමට විය යුතුය.
“මොකද උඹ මට ඔරවන්නෙ? හොයපං කිවුවෙ කොල්ලව... දෙයියනේ ඌ පාර පැත්තටවත් ගියාද දන්නෑ” බත් පිඟාන බිත්ති කණ්ඩිය මතින් තැබූ එමලි ගෙයින් පිටතට දිව්වාය.
හැංගිමුත්තම නැවත ඇරඹුණි. නමුත් මෙවර වෙනසක් තිබුණි. එකෙකු අන් සියල්ලන් සොයනවා වෙනුවට මෙවර සිදුවූයේ සියල්ලන්ම එකතු වී එකෙකු සොයමින් වත්ත පීරීමය. නමුත් අපට වැඩිපුර වෙහෙස වීමට අවැසි වූයේ නැත.
“මෙන්න උණ්ඩියා ඉන්නෝ....” කොළුවෙකුගේ හඬ තැලීමක් මෙවර හැංගිමුත්තමට තිත තැබීය. එමලි සහ චිත්‍රා සෝදා වේලෙන්නට තැබූ බැරල් බාග අසල සිට කෑගසන්නේ පඩික්කමාය. අතුරුදහන් වී නැවත හමුවුණු උණ්ඩියා බැලීමට අපි පිම්මේ දිව ආවෙමු.
එවැනි අප්‍රසන්න දසුනක් මා කිසිදිනෙක දැක නැති බව මට කැට තබා පැවසිය හැක. බැරල් බාගය පතුලේ හැකිළී නිදා සිටියේ උණ්ඩියා ය. නාස් පුඬු මත වේළුණු හොටු කැබලිද, එක් පයක සැරව ගලා මිදී ගිය තුවාලයක්ද සහිතව බැරල් පතුලේ නිදාහුන් උණ්ඩියාට නොදැනුවත්වම මළ පහ වී තිබුණූ අතර ඔහු නිදා උන්නේ ඒ මතය. කොළු කෙළි රැලේ හිස් මතින් බැරලය වෙත එබුණු එමලි යක්ෂාවේශ විය. ඇ නිදන දරුවාගේ කොණ්ඩ කෙටියෙන් අදිමින් කෑ ගසන්නට විය.
“ඈ බොල හරකෝ... මං මෙතන මහංසියෙං උස්සගෙන ඇවිල්ල රිස්ස යනකල් හෝදල වේලෙන්න තිබ්බම තෝ ඇවිල්ල ඒකෙම රෙවන්න තියාගත්තද? තෝ කෑවනෙ මගෙ වැඩේ.... දැං කොහොමද මේකෙ ඉඳිආප්ප තම්බන්නෙ.... නෝනල දැනගත්තොත් මට විසුමක් වෙන්නෙ නෑ. තොපිට කන්න අඳින්න දෙන්න නැහෙන මට තොපිල කරන්නෙ මේකයි... වර යන්න කාලකණ්නිය” අවාසනාවන්ත දරුවා මවගේ දෑතින් එසවී ගුවනේ පාවෙමින් අපගේ දෑස් මානයෙන් ඈත් වූයේ නරඹන්නන් පෙරහැරක් ඔවුන් පසුපස ඇදෙද්දීය. මමද එදෙසට යාමට පියවර එසවූවද අක්කා මගේ අතින් අල්ලා මා නැවැත්වූවාය.
“ඔයාට පිස්සුද....චික්! මං නං ආයෙ එන්නෙ නෑ මුං එක්ක සෙල්ලං කරන්න... ඈයියා... මට තාමත් අප්පිරියයි... ගෙදර ගිය හැටියෙ නාගන්න ඕනා..” අක්කාට කීකරු වූ මම ඇය සමඟින් නිවසට පැමිණියෙමි.
“මදැයි දෙන්න දැංවත් ආවා... කොහේ මකබෑවෙනවද මංද උදේම.. ඔන්න දුවේ මට නං බැණුං අස්සන්න තියන්න එපා” අම්මාච්චිගේ සුපුරුදු තරවටුව අසමින්ම ගෙට රිංගාගත් අක්කා නෑමට දිවගියාය. මා හොර පූසෙකු සේ අම්මාච්චිගේ ඇඟේ වෙලෙන්නට වූයෙන් ඇගේ තරවටුව අහවර විය. 
එදින හැන්දෑව අපගේ ප්‍රියතම හැන්දෑවන්ගෙන් එකක් විය. ඒ අම්මගේ මිතුරි කල්ලියේ පාටියක් එදිනද පැවැත්වීමට නියමිතව තිබූ හෙයිනි.මෙවර එය පැවැත්වෙන්නේ අම්මාගේ හොඳම මිතුරියක වූ ඩැල්රීන් ආන්ටිගේ නිවසේදීය. නා පිරිසිදු වී විසිතුරු ඇඳුමින් සැරසුණු අප දෙදෙනා අම්මා සමඟින් උත්සවයට යාමට පුලපුලා සිටි නමුදු සුපුරුදු පරිදි අම්මා ප්‍රමාදය. සුවිසල් සිරුර වසා සාරියකින් සැරසී නේක සැරසිලි ඇඟ දවටාගන්නට අම්මාට ගතවන කාලය පුංචි අප නොසන්සුන් කරවන සුළුය. එනමුදු අම්මාට වගක්වත් නැත. අවසානයේ අම්මා එළියට බැස්සාය. ගතින් මහත් වුවත් ඇය තේජස් පාටය. අප අම්මා මැදිකරගෙන උත්සවයට පැමිණියේ මහත් ආඩම්බරයෙනි. පැමිණි විගස අතට ලැබෙන පිළිගැනීමේ පානය මහත් අභිරුචියෙන් ගිලදැමූ අප කුඩාවුන් එකතු වී කෙළිලොල් ලෝකයට පියනගනා අතරතුර අම්මලා පිවිසෙන්නේ අනේකවිධ ඕපාදූප සපිරුණු කතා සරිත් සාගරයකටයි. මේ සියල්ලට තිත තැබෙන්නේ පාටියේ අග්‍රතම මොහොත වන රාත්‍රී භෝජන සංග්‍රහයට වතුර අල්ලන විටයි. දිගු මේසයක් මත බුෆේ ක්‍රමයට රාත්‍රී ආහාරය පිළියෙළ කර තිබුණි. එමලිගේ ඉඳිආප්ප පොලොස් කතාව සනාත කරමින් පාට කිහිපයක ඉඳිආප්ප කඳු කිහිපයක් එහි වූයේ සම්බෝල, මස් කරි, අල හොඳි වලින් වට වෙමිනි. 
“හරී..... රසයි අනේ මේ කෑම.... කොහෙන්ද ඩැල්රීන් ඕඩ කළේ? අපේ පාටීස් වලට එතනම අල්ලගන්න පුළුවන්නං මරු...” ඉඳිආප්ප වලට වැඩ දෙන අතරේ අම්මා ඩැල්රීන් ආන්ටිගෙන් විමසුවාය.
“ඔය මේ කිට්ටුව තියෙන ජොසිටාවත්තේ එමලි කියල ගෑණියෙක්ගෙං....හොඳ අත්ගුණයක් තියෙන ගෑණියෙක් සුබී... පුදුම රහයි කෑම.... අනෙක හරී... පිරිසිදුවට කෑම හදනවා” ඩැල්රීන් ආන්ටි පිළිතුරු දුන්නාය.
නොදැනුවත්වම මගේ ඇස් විශාල විය. මම පුදුමයෙන්ම අක්කා දෙස නෙත් හෙළුවෙමි. අතට ගත් ඉඳිආප්ප පිඬ පිඟානට දමා ගසා‘දඩස්’ හඬින් පිඟාන මේසය මත තැබූ අක්කා වතුර උගුරු කිහිපයක් බීගෙන බීගෙන ගියාය.
“දූ.... ඇයි? What’s the problem? ඔයාට සනීප නැද්ද?” අම්මාගේත් මිතුරියන්ගේත් අවධානය අක්කා වෙතය. එහෙත් අක්කා නිහඬය. බුම්මාගත් මුහුණේ ඇත්තේ පිළිකුල බව තවමත් දන්නේ මා පමණි. අක්කාගේ කට ඇරෙන්නට එපායැයි මම දෙවියන් යැද්දෙමි. 
“ආන්ටි මේ ඉඳිආප්ප ගත්තෙ එමලිගෙන් ද?” අක්කාගේ ප්‍රශ්නය නිසා දැන් පුදුම වීමේ වාරය එළඹ ඇත්තේ ඩැල්රීන් ප්‍රමුඛ කාන්තාවන්ටය.
“ඔව් ඩාලිං..... ඇයි?”
රාත්‍රී භෝජනය සෝදාපාළු වී ගියේ අක්කාගේ කටින් පිටවූ කතාව නිසාය. එමලිගේ ඉඳිආප්ප කෑ සුපිරි පැලැන්තියේ කාන්තාවෝ එමලිටද, ඩැල්රීන්ටද බණිමින්, ඒ ඉඳිආප්ප කෑ සිය වංශවත් මුඛයන්ට සාප කරමින් සාදයෙන් පිටව ගියහ. 
පසුදා උදයේ එමලිගේ නඩුව විභාගයට ගැනුණි. තේජස්වී පෙනුමැති අම්මා විනිශ්චයකාරිය වූ අතර, විත්තිකාරිය වූ එමලි හැඬූ කඳුලින් සිය වරද පිළිගත්තාය. සාක්ෂි කූඩුවේ සිටි මගේ දෑස් කඳුලින් බොඳව ගොස් ඇත. එහෙත් අක්කාගේ මුහුණේ වූයේ පෙරදා පැවති පිළිකුලමය. ඉවසාගත නොහැකි වූ මම ඉවතට දිව ගියෙමි.
                               
එතැනින් පසු එමලිට කුමක් සිදුවූයේදැයි මම නොදනිමි. නමුත් නිසැකවම අම්මා ඇතුළු සුපිරි කාන්තාවන් තමන්ට සිදුවූ නින්දාව පිරිමසනු වස් එමලිගේ කඩයප්පං රැකියාව නිම වන තැනට වැඩ සිදු කරන්නට ඇති බව නම් මට ප්‍රත්‍යක්ෂය. ලැබීමට නියමිතව තිබූ මුදල් වෙනුවට ඉතිරි වූ ඉඳිආප්ප තොගය කරපින්නාගත් එමලි මදෙස බලමින් ඔරවන්නාක් මෙන් මට තවමත් මැවී පෙනේ. කෙසේ වුවද, දිරිය ගැහැණියක වූ එමලි අදටත් කෙසේ හෝ බඩවියත සරිකරගෙන දරුවන් දෙදෙනා රකිනවා ඇත. මෙතෙක් මට හමුවූ ධෙර්‍යවන්තම ගැහැණිය වූ එමලිද, ඇය වෙතට මාගේ අවධානය යොමු කරවූ බැරලයද මාගේ ජීවිතයේ සදා නොමියෙන මතකයන් ව හමාරය.


Nissanka Rajapaksa

unread,
Jul 20, 2024, 9:13:08 PM7/20/24
to INDRAKA group
11
ශ්‍රෙඩ්නි වෂ්තාර්
 
Translation of the short story 'Sredni Vashtar' by Saki

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

දස වියැති කොන්රඩින් තව පස් වසරක් වත් ජීවත් නොවන බවට දොස්තර මහතා විසින් තම වෘත්තීමය අනාවැකිය පළ කර තිබිණි. ඒ දොස්තරවරයා නෝන්ජල්, දුර්වලයෙකු වූ නිසා ඒ අදහස එතරම් වැදගත් ලෙස ගණන් ගැනුණේ නැතත් ද රොප් මහත්මිය විසින් එය අනුමත කළ නිසා ඊට වැදගත්කමක් ලැබුණි. ද රොප් මහත්මිය කොන්රඩින්ගේ ඥාතිවරියකු මෙන්ම භාරකාරිය ද වූවා ය. ඔහුගේ අදහස වූයේ ලෝකයේ සමස්තයෙන් පහෙන් තුනක පංගුවක් වූ කරදරකාරී එහෙත් අත්‍යවශ්‍ය යතාර්ථය ඈ විසින් නියෝජනය කරන බවයි. මීට සම්පූර්ණයෙන්ම පටහැනි වූ ඉතිරි පහෙන් දෙකට අයත් වූයේ ඔහුත්, ඔහුගේ විචිත්‍රවත් පරිකල්පනයත් ය. කවදා හෝ දිනක ලෙඩරෝග, අනවශ්‍ය ප්‍රවේසම් කිරීම් සහ උදාසීන ඒකාකාරී බව ආදී කරදරයන්ට තමන්ට නතු වීමට සිදුවනු ඇති බව කොන්රඩින් කල්පනා කළේ ය. නමුත් තනිකම විසින් බොහෝ විචිත්‍රවත් කර තිබුණු ඔහුගේ පරිකල්පනය නොවිණි නම් මේ වෙද්දීත් මේවාට ඔහු යටත් වී බොහෝ කල් වනු ඇත. 

තමන් කොන්රඩින්ට අකමැති බව ද රොප් මහත්මිය විසින් තමන්ගේ අවංකම මොහොතක පවා පාපොච්චාරණය නොකරන්නට ඉඩ තිබිණි. නමුත් ‘ඔහුගේම හොඳට’ ඔහුගේ ක්‍රියාවන්ට බාධා පැමිණවීම තමන්ට කරදරයක් සේ නොදැනුණු බව නම් ඇයට යන්තමින් තේරුණා විය හැක. කොන්රඩින් නම් ඇයට ඍජුවම ද්වේෂ කළ අතර ඒ හැඟීම ඉතා සාර්ථක ලෙස වසන් කරගැනීමට ද ඔහුට හැකියාව තිබිණි. තමන් වෙනුවෙන් වෙන් කර ගෙන තිබුණු කුඩා සතුටු ක්‍රියාකාරකම් වලින් ඔහුට දැනුණු ප්‍රීතිය දෙගුණ වූයේ ඒවා තම භාරකාරිය අනුමත නොකරන ඒවා වීමට ඉඩ ඇති බව දත් බැවිණි. ඔහුගේ පරිකල්පිත ලෝකයට නම් ඇතුළු වීමට ඇයට තහනම් ව තිබුණේ ඈ කිල්ලකට අසුවූ කෙනෙකු ලෙසින් ය. 

කිසිම අලංකාරයක් නොමැති ගෙවත්ත වෙත ඒ නිවසේ කවුළු බොහෝ ප්‍රමාණයක් විවර විය. නිතරම මේ කවුළු වෙතින් විවධ දේවල් නොකරන ලෙසත්, බෙහෙත් වෙලාව එළඹී ඇති බවත් කියමින් පණිවිඩ නිකුත් වූ නිසා ඔහුට ඒ ගෙවත්තේ කිසිම ආකර්ෂණයක් තිබුණේ නැත. එහි වූ පලතුරු ගස් කීපයත් ඉරිසියාකාර ලෙසින් ඔහුට තහනම් කර තිබුණේ ඒවා කතරක කලාතුරකින් පැලවන දුර්ලභ වර්ගවල ගස් වූ ලෙසිණි. නමුත් ඒ ගස්වල වසරක හට ගත් සම්පූර්ණ පලදාව ම සිලින් දහයකට මිළදී ගැන්මට කැමති භෝග වෙළෙන්දෙක් සොයාගැනීම දුෂ්කර වන්නටත් ඉඩ තිබිණි. මේ ගෙවත්තේ අමතක කර දමනු ලැබූ කෙළවරක, අඳුරු ගහකොළින් වසන් වී, පාවිච්චියට නොගත්, තරමක ඉඩ ඇති මෙවලම් මඩුවක් විය. මෙහි බිත්ති හතර ඇතුළත කොන්රඩින් පුංචි කෙම්බිමක් සොයා ගෙන තිබුණු අතර එය ඔහුට ඇතැම්විට සෙල්ලම්පිටියක්ද ඇතැම්විට දේවස්ථානයක් ද වැනි විය. ඔහුගේ මේ රජදහන ඔහු විසින් ජනාවාස කරගෙන තිබුණේ සුපුරුදු භූතයන් පිරිසකගේ සහයෙනි. මොවුහු ඉතිහාස කතාවලින් සහ කොන්රඩින්ගේ මනසින් උපන්නන් වූහ. 

මොවුන්ට අමතරව මෙහි ජීවමාන පදිංචිකරුවන් දෙදෙනෙකු ද විය. මඩුවේ එක් කෙළවරක තරමක් අවුල් වී වැරහැලි වූ පිහාටු සහිත හුඩාන් වර්ගයේ කිකිලියකු වාසය කළ අතර කොලුවා විසින් ඌට තදින්ම ආදරය පෑවේ ඔහුට ආදරය දෙන්නට වෙන කිසිවෙකු නොසිටි බැවිණි. මීට අමතරව මඩුවේ අඳුරු කොටසේ විශාල කූඩුවක් විය. කොටස් දෙකකට බෙදුණු මෙහි ඉදිරිපස කොටසේ ලං ලං ව යකඩ කූරු තිබිණි. මෙහි විසුවේ උගුඩුවෙකුගේ පෙනුමැති විශාල මුගටියෙකි. කාලයක් තිස්සේ රහසේ සොරකම් කරගත් රිදී බඩු තොගයක හුවමාරුවට මේ සත්ත්වයාව කිසිවෙක්ට නොදැනෙන සේ කූඩුව පිටින්ම මෙහි ගෙන එනු ලැබුවේ කොන්රඩින්ගේ මිතුරෙකු වන මස් කඩයේ කොලුවා ය. නම්‍යශීලී සිරුරක් සහ උල් දත් සහිත මේ සත්ත්වයාට කොන්රඩින් බෙහෙවින්ම බිය වූවත් ඌ ඔහු සතු වටිනාම වස්තුව විය. ඌ මේ ආම්පන්න මඩුවේ වාසය කිරීමම බියකරු, සතුට දනවන රහසක් වූ අතර ‘අර ගෑනි’ නමින් ඔහු හැඳින්වූ තම ඥාතිවරියගෙන් ඉතා ප්‍රවේසමෙන් සඟවාගත යුතු කාරණාවක් ද විය. කුමක් හෝ මායාමය මනෝ මුලාශ්‍රයකින් කොන්රඩින් මේ සත්ත්වයාට නමක් නිර්මාණය කර තිබුණි. ඒ නම ලැබූ දිනෙන් පසු ඌ දෙවියෙකු සහ ආගමක් බවට පත්වීය. ‘අර ගෑනි’ නම් සතියකට වතාවක් ආගමික වතාවත් සඳහා අසල වූ පල්ලියකට යද්දී ඈ සමඟ කොන්රඩින්වද ගෙන යාමට අමතක කළේ නැත. නමුත් ඔහුට නම් එය බයිබලයේ සඳහන් රීමන් මන්දිරයේ කළ නොවැටහෙන යාඥාවක් වැනි විය. ඔහු නම්, හැම බ්‍රහස්පතින්දාවකම ආම්පන්න මඩුවේ පුස් ගඳ සහ නිහඬ බව මැද, ශ්‍රෙඩ්නි වෂ්තාර්යැයි නම් තබා තිබුණු ශ්‍රේෂ්ඨ මුගටියාට ගුප්ත සහ සංකීර්ණ වතාවතක් සිදු කළේ ය. උණුසුම් කාලවලදී රතු මල් සහ සීත කාලවලදී රත් පැහැති කුඩා ගෙඩි වර්ග මේ දෙවොලේදී පූජා කෙරිණි. මේ දෙවියා දරුණු මෙන්ම නොඉවසිලිමත් දේ ගැන වැඩි අවධානයක් යොමු කළ අයෙකු වූ අතර මෙය ඥාතිවරියගේ ආගමේ ඉගැන්වීම් වලට සම්පූර්ණයෙන් පටහැනි බව කොන්රඩින්ට වැටහුණි. මීට අමතරව මේ ආගමේ විශේෂ උත්සව දිනවලදී කූඩුව ඉදිරිපස සාදික්කා කුඩු ඉසීම වැදගත් අංගයක් වූයේ ඒ සාදික්කා මුළුතැන්ගෙයින් සොරකම් කළ යුතු වූ බැවිනි. කලාතුරකින් සිදු කළ මේ උත්සව යෙදුණේ යම්කිසි සිද්ධියක් සැමරීම සඳහායි. එක් වරක් ද රොප් මහත්මිය තුන් දිනක් තිස්සේ තදබල දත් කැක්කුමකින් පීඩා වින්දා ය. කොන්රඩින් මේ තෙදින පුරාවටම තම දෙවොලේ උත්සවය පැවැත්වූ අතර ඒ දත් කැක්කුම ඇති කළේ ශ්‍රෙඩ්නි වෂ්තාර් බව පිළිගැනීමට පවා සූදානමින් සිටියේ ය. එහෙත් ඒ අමාරුව තව දිනක් පැවතුණා නම් සාදික්කා කුඩු අවසන් වන්නට ඉඩ තිබිණි. 

හුඩාන් කිකිළිය ශ්‍රෙඩ්නි වෂ්තාර්ගේ ලබ්ධියට කිසිදිනක ඇතුල් කරගත්තේ නැත. කිකිළිය ඇනබැප්ටිස්ට් වර්ගයේ බව බොහෝ කලකට පෙර කොන්රඩින් තීරණය කර තිබිණි. මෙහි තේරුම කුමක්දැයි ඔහුටද කිසිම අදහසක් නොවූ නමුත් එය එතරම් වැදගත්කමක් නැති දෙයක් විය යුතු යැයි ඔහු සිත යටින් ප්‍රාර්ථනා කළේ ය. වැදගත්කම ඔහුට අප්‍රසන්නම දෙයක් වූ අතර එහි මිනුම් දඬුව වූයේ ද රොප් මහත්මියයි. . 

ටික කලක් ගතවෙද්දී මෙවලම් මඩුව වෙත කොන්රඩින් පාන ඇල්ම බැල්ම ඔහුගේ භාරකාරියගේ අවධානයට ලක්වන්නට පටන් ගත්තේ ය. ‘සීතල කාලෙටයි රස්නේ කාලෙටයි හැමතිස්සෙම ඔය මඩුවක් අස්සට රිංගන එක හොඳ වැඩක් නෙමෙයි’ කියා වහාම තීරණය කළ ඈ හුඩාන් කිකිළිය විකුණා දැමූ බවත් පෙරදින රාත්‍රියේදීම ඌ ව රැගෙන යන ලද බවත් දිනක් උදෑසන කෑම මේසයේදී ප්‍රකාශ කළා ය. දුර නොපෙනෙන දෑසින් ඈ කොන්රඩින් දෙස එබී බැලුවේ මේ පුවත අසා ඔහු වෙතින් කෝපයක් හෝ ශෝකාලාපයක් බලාපොරොත්තුවෙනි. ඒ වෙනුවෙන් පිළිතුරු ලෙස මනා සේ සැලසුම් කළ තර්ක සහ තරවටු ඈ සුදානම් කරගෙන සිටියාය. නමුත් කොන්රඩින් කිසිවක් කීවේ නැත: ඔහුට කීමට කිසිවක් තිබුණේ නැත. ඔහුගේ හැඟීම් විරහිත සුදුමැලි මුහුණ ඇය තුළ තරමක නොසන්සුන්කමක් ඇති කර තිබුණු අතර හවස් වරුවේ තේ පානය සඳහා ඔහු ප්‍රිය කළ ටෝස්ට් කළ පාන් පෙති මේසය මත දක්නට විය. සාමාන්‍යයෙන් මේවා ඔහුට අගුණ බව කියා ඈ විසින් තහනම් කර තිබුණේ මෙලෙස පාන් සැකසීම මධ්‍යම පන්තික කාන්තාවන් විසින් මාරාන්තික ලෙස සලකන ‘කරදරකාරී බව’ නිසායි. 

“මම හිතුවා ඔයා පාන් ටෝස්ට් කරලා කන්න කැමතියි කියලා,” ඈ රිදුණු හඬකින් කීවේ ඔහු පාන් පෙති වෙත අත වත් නොතැබූ බැවිනි. 

“සමහරවෙලාවට,’ කොන්රඩින් පිළිතුරු දුන්නේය.

එදින හවස්වරුවේ මෙවලම් මඩුවේ දෙවියන් යැදීමේ පිළිවෙතේ අලුත් වෙනස් කමක් සිදුවිය. දෙවියන් වෙත ප්‍රශස්ති යාතිකා ගැයීම කොන්රඩින්ගේ සාමාන්‍ය සිරිත වූවත් එදා ඔහු වරමක් ඉල්ලා සිටියේ ය. 

“ශ්‍රේද්නි වශ්තාර්, මං වෙනුවෙන් එක දෙයක් කරන්න.”

කළ යුතු වූ දේ මෙයැයි සඳහන් නොවුණත් දෙවියෙකු වශයෙන් ශ්‍රෙඩ්නි වෂ්තාර් ඒ කුමක්දැයි දත යුතුව තිබිණි. මඩුවේ කෙළවර, කිකිළිය විසූ තැන දෙස බලා ආයාසයෙන් ඉකියක් යටපත් කරගත් කොන්රඩින්, ඉන් පිටවී තමන් වෛර කළ ලෝකය වෙත පෙරලා ගමන් කළේ ය. 

ඉනික්බිති හැම රාත්‍රීයකදීම තමන්ගේ නිදන කුටියේ සුවපහසු කළුවර තුළදීත්, හැම හවසකම මෙවලම් මඩුවේ අඩ අඳුර තුළදීත් කොන්රඩින් එක් කටුක යාතිකාවක ම නියැලුණේ ය. “ශ්‍රේද්නි වශ්තාර්, මං වෙනුවෙන් එක දෙයක් කරන්න.”

කිකිළිය ඉවත් කළ පසුත් මෙවලම් මඩුව වෙත කොන්රඩින්ගේ ගමන් අඩු නොවූ බව දුටු ද රොප් මහත්මිය තවත් නිරීක්ෂණ චාරිකාවක නියැලුණා ය. 

“මොනවද අර මඩුවේ කෙළවරේ කූඩුවක අගුලු දාලා තියාගෙන ඉන්නේ? ගිනිපිග් ලා නේද? ඉන්නවාකෝ මම අස් කරලා දාන්න.”

කොන්රඩින් තම දෙතොල් තරයේ පියාගෙන සිටියත් ‘ඒ ගෑනි’ ඔහුගේ කාමරය පෙරළා එහි සඟවා තිබුණු යතුර සොයාගත්තාය. ඉනික්බිති ඈ එයද රැගෙන ජයග්‍රාහී ලීලාවෙන් මෙවලම් මඩුව වෙත ගියේ තම සොයාගැනීම සම්පූර්ණ කිරීමටයි. එය සීතල සන්ධ්‍යාවරුවක් වූ අතර කොන්රඩින්ට නිවසට වී සිටින්නට අණ ලැබී තිබිණි. කෑම කාමරයේ කෙළවරේ ම කවුළුවෙන් බැලූ විට පඳුරු පෙළට ඔබ්බෙන් වූ මෙවලම් මඩුවේ දොර යන්තමින් පෙනුණි. කොන්රඩින් මෙතැන සිට ගල් ගැසී ඒ දෙස බලාසිටින්නට විය. ඇය මඩුවට ඇතුල් වනු ඔහුට පෙනුණි. ඉන් අනතුරුව ඈ පූජනීය කූඩුවේ අගුලු හැර, දුර නොපෙනෙන දෑසින් එහි තුළ ඇති පිදුරු ඇතිරිල්ල තුළ සැඟවී සිටින දෙවියන් දෙස එබී බලන අයුරු ඔහු සිතින් මවා ගත්තේය. සමහරවිට ඇගේ අශෝභන නොඉවසිල්ල නිසා පිදුරු ගොඩට ඇන බලන්නට පවා ඉඩ ඇත. කොන්රඩින් අවසන් වතාවට ඉතා උනන්දුවෙන් තම යාඥාව මිමිණුවේය. එසේ මුමුණද්දීත් තමන් එය විශ්වාස නොකරන බව ඔහුට වැටහිණි. තව ටික වෙලාවකින් ‘ඒ ගෑනි’ ඔහුට අප්‍රසන්නම ඇගේ සිනාවෙන් මුව සරසාගෙන මඩුවෙන් පිටතට ඒමට නියමිත බවත්, තව පැයකින් හෝ දෙකකින් උයන්පල්ලකු විසින් තම අපූරු දෙවියන් ව පිටතට ඔසවා ගෙන යන බවත්, එවිට ඒ දෙවියන් කූඩුවක සිටින වැදගත්කමක් රහිත දුඹුරු පැහැති මුගටියෙකු බව දිස්වන බවත් ඔහු දැන සිටියේය. ඥාතිවරිය හැම විටම ජයග්‍රහණය කරන පරිද්දෙන්ම මෙවරත් ජයගන්නා බවත් ඇගේ වද කිරීම්, රොස් පරොස් සහ උද්ධච්ච, සියල්ල දත් ගතිය නිසා ඔහු ක්‍රම ක්‍රමයෙන් රෝගී වන බවත් අන්තිමේදී කෙදිනක හෝ ඔහුට කිසි දෙයක් ගැන වුවමනාවක් නැති වී දොස්තරගේ අනාවැකිය සැබෑවන බවත් ඔහු දැන සිටියේය. තම පරාජයේ අවමානය සහ කනස්සල්ල මැද ඔහු තර්ජනයට ලක් වූ තම දෙවියන් වෙනුවෙන් උස් හඬින්, නිර් භයව යාතිකාවක් ගයන්නට විය.


ඉදිරියටම යන ශ්‍රෙඩ්නි වෂ්තාර්
දත් සුදු පැහැ වූවත් 
සිතිවිලි රත් පැහැයෙන් ගිනියම් 
සාමය ඉල්ලයි ඔහුගේ සතුරන් 
ඒත් ඔහු ගෙනෙන්නේ මරණයමයි 
අලංකාර ශ්‍රෙඩ්නි වෂ්තාර්

හදිසියේම යාතිකාව නතර කළ කොන්රඩින් කවුළුවේ වීදුරුවට කිට්ටු වූයේ ය. මෙවලම් මඩුවේ දොර තවමත් පෙර සේම අඩවන් ව තිබිණු අතර කාලය ගෙවෙමින් පැවතිණි. ඒවා බොහෝ දිගු විනාඩි වූවත් කෙසේ හෝ ගතවෙමින් තිබිණි. ගෙවත්තේ තණ බිස්සේ ස්ටාලින්ග් කුරුල්ලන් රංචු ගැසී ඔබ මොබ යන අයුරු ඔහු බලා සිටියේය. නැවත නැවතත් ඔහු උන්ව ගණන් කළේ මඩුවේ දොර වෙත ද අවධානය තබාගනිමිනි. ටික වෙලාවකින් පුළුටු මුහුණක් ඇති සේවිකාවක් තේ පානය සඳහා මේසය සූදානම් කරන්නට කෑම කාමරයට පැමිණියා ය. කොන්රඩින් තවමත් නොඉවසිල්ලෙන් කවුළුවෙන් එපිට බලාගත්වනම පසුවීය. ඔහුගේ හදට ක්‍රම ක්‍රමයෙන් බලාපොරොත්තුවක් රිංගමින් තිබුණු අතර පෙරදී පරාජයේ දුක්ඛිත ඉවසිලිවත්බව දිස් වූ ඔහුගේ දෑසේ දැන් දිලිසුණේ විශිෂ්ඨ දිනුමක් ලද අයෙකුගේ බැල්මකි. ඔහු සෙමෙන් ජයග්‍රහණයේ සහ විනාශයේ ප්‍රශස්තිය මතුරමින් සිටියේය. නොබෝ වෙලාවකින් ඔහුගේ දෑස සොයමින් සිටි දසුන දිස් විය. මඩුවේ අඩවන් වූ දොරින් කහ-දුඹුරු මිශ්‍ර ලොම් ඇති දිගු සිරුරකින් යුතු සත්ත්වයෙක් පිටතට පැමිණියේය. බැස යන හිරුගේ එළිය දෙස බලා ඇස් පිල්ලම් ගසමින් සිටි උගේ මුඛයත් ගෙලත් අවට තද රත් පැහැති පැල්ලම් දක්නට විය. මේ දසුන දැක කොන්රඩින් පහත් වී කවුළුව අද්දර දණ ගසා ගත්තේය. මුගටියා ගෙවත්තේ කෙළවර තිබුණු කුඩා දොළ පාර වෙත ගොස් දිය බී, ඒ හරහා වූ කුඩා ලී පාලම මතින් ගොස් ඉන් ඔබ්බෙහි වූ පඳුරු අතරේ අතුරුදන් විය. ඉතින් ශ්‍රෙඩ්නි වෂ්තාර් එලෙසින් නික්ම ගියේය. 

“තේ ලෑස්තියි,” පුළුටු මුහුණැති සේවිකාව කීවාය; “නෝනා කෝ?”
“එයා දැන් ටික වෙලාවකට කලින් අර මඩුව පැත්තට ගියා,” කොන්රඩින් පිළිතුරු දුන්නේය.
සේවිකාව විසින් තම පාලිකාව සොයන්නට ගිය අතරේදී කොන්රඩින් අසල ලාච්චුවකින් යකඩ අඬුවක් ගෙන තමන්ට පාන් පෙත්තක් ටෝස්ට් කර ගන්නට විය. මෙලෙස සකසා ගත් පාන් පෙත්තේ ඇති තරම් බටර් තවරාගෙන ඉතා සතුටින් ආහාරයට ගනිමින් සිටින අතරේදීම ඔහු කෑම කාමරයේ දොරට ඔබ්බෙන් වේගවත් සහ කලබල ලෙසින් ඇසෙමින් තිබුණු ශබ්ද වලට සවන් දුන්නේය. සේවිකාව ශබ්ද නඟා කළ මෝඩ කෑ ගැසීම්, ඊට පිළිතුරු ලෙස මුළුතැන්ගෙය පෙදෙසින් ඇසුණු තවත් කෑ ගැසීම්, පිටත කව්රුන්ගෙන් හෝ උදවු ඉල්ලමින් දිව ගිය අඩි ශබ්ද සහ මඳ නිහැඬියාවකින් පසු බියපත් ඉකිබිඳීම් සහ දරාගැනීමට දුෂ්කර පුවතක් නිවස වෙත රැගෙන එන්නෙකුගේ බර අඩි හඬ ඇසෙන්නට විය. 

“අනේ ඒ අසරණ දරුවාට මේ විස්තරේ කියන්නේ කවුද? දෙවියනේ මට නම් ඒක කරන්න බැහැ!” උස් හඬින් කාගේදෝ කටහඬක් ඇසුණි. ඔවුන් ඒ කාරණාව ගැන විවාද කරගන්නා අතරතුරේදී කොන්රඩින් තවත් පාන් පෙත්තක් ටෝස්ට් කර ගත්තේය. 

සිසිල සඟරාව- ජුනි 2024 කලාපය

Nissanka Rajapaksa

unread,
Jul 21, 2024, 9:35:28 PM7/21/24
to INDRAKA group
12
චාල්ස්

from 'Shirley Jackson's Novels and Stories (1949)'

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

මගේ පුතු ලෝරී පෙර යෑමට පටන් ගත් දිනයේම කොඩ්රෝයි රෙද්දෙන් මැසූ ඕවරෝල් කලිසම් ඇඳීම නවතා දමා බඳ පටියක් සහිත නිල් පැහැති ඩෙනිම් කලිසම් අඳින්නට පටන් ගත්තේය. අසල්වැසි නිවසක දැරියක් සමඟ ඔහු ඒ පළමු උදෑසන පිටත්ව යන අයුරු බලා සිටි මට, මගේ ජීවිතයේ එක් යුගයක් නිමා වූ බවක් පැහැදිලිවම දැනුණි. මිහිරි කටහඬක් තිබුණු මගේ කුඩා ළදරුවා දිගු කලිසම් පැළඳ චන්ඩි ගමනින් යන, පාරේ කෙළවරදී නැවතී මට අත වනන්නට අමතක වන චරිතයක් බවට පත්ව තිබිණි.

ඔහු යළි නිවසට පැමිණියේද ඒ ආකාරයෙන්මය. නිවසේ ඉදිරි දොර වැරෙන් හප්පා, තොප්පිය බිම විසිකර “කවුරුවත් නැද්ද මෙහේ?” යැයි ඔහු හඬගා ඇසුවේ රළු හඬකිනි.

දිවා ආහාර වෙලාවේදී ඔහු තාත්තා සමඟ ගරු සරු නැතිව කතා කර, බිළිඳු නැඟණියගේ කිරි බඳුන ඉහිරවූ අතර අප විසින් දෙවියන් වහන්සේගේ නම හේතුවක් රහිතව භාවිත නොකළ යුතුයැයි තම ගුරුවරිය පැවසූ බවද කීවේය.

“ඉතින් කොහොමද අද ඉස්කෝලේ?” මා ඇසුවේ උවමනාවෙන් මවාගත් සැහැල්ලු බවකිනි.

“හොඳයි,” ඔහු කීය.

“ඔයා මොනවාවත් ඉගෙනගත්තාද?” ඔහුගේ තාත්තා ඇසීය.

ලෝරී තාත්තා වෙත සීතල බැල්මක් හෙලුවේය. “මම කිසි දෙයක් ඉගෙන ගත්තේ නැහැ.”

“ටීචර් ළමයෙකුට ගැහුවා හැබැයි,” ලෝරී තම පිඟානේ පාන් සහ බටර් දෙස බලාගෙන කීවේය. “එයා කමකට නැතිව හැසිරුණු නිසා.” ඔහු ඊට එකතු කළේ කෑම පුරවාගත් කටින් යුතුවය.

“එයා මොකද කළේ?” මම ඇසුවෙමි. “කවුද ඒ?”

ලෝරී මඳක් කල්පනා කළේය. “ඒ චාල්ස්,” ඔහු කීවේය. “එයා කමකට නැහැ. ටීචර් එයාට ගහලා පන්තියේ මුල්ලට වෙලා ඉන්න කිව්වා. එයා කිසිම කමකට නැහැ.”

“එයා මොකද කළේ?” මා නැවත ඇසුවත් ලෝරී ලිස්සා තම පුටුවෙන් බැස, විස්කෝතුවක් අතට ගෙන යන්නට ගියේ තාත්තා ඔහුට “මේ අහන්න කොල්ලා..” කියද්දීමය.

ඊට පසු දිනයේදී ලෝරී දිවා ආහාරයට හිඳගත් වහාම “ඔන්න අදත් චාල්ස් නරක වැඩක් කළා.” යැයි කීවේය. “අද චාල්ස් ටීචර්ට ගැහුවා.” ඔහු කීවේ පුළුල් සිනාවක් සහිතවය.

“දෙවියන්ට ඔප්පු වෙච්චාවේ,” දෙවියන්ගේ නම නිකරුණේ කීම ගැන සිතමින්ම මම කීවෙමි.

“එහෙනම් එයාට ආයෙත් ගුටි ලැබෙන්න ඇති?”

“හම්බවුනා නේන්නම්,” කී ලෝරී. “උඩ බලන්න,” යැයි තාත්තාට කීය.

“මොකටද?” තාත්තා ඇසුවේ උඩ බලමිනි.

“බිම බලන්න,” ලෝරී කීවේය. “මෙන්න මගේ ඇඟිල්ලක්… ඔයා මහා මෝඩයෙක්.” කී ඔහු ඔහු උමතු ලෙස සිනාසෙන්නට විය.

“චාල්ස් මොකද ටීචර්ට ගැහුවේ?” මම ඉක්මණින් ඇසුවෙමි.

“ටීචර් රතු පාට පාට කූරු වලින් පාටකරන්න කියලා චාල්ස්ට කීව නිසා.” ලෝරී කීවේය. “එයාට ඕන වුණේ කොළ පාටින් පාට කරන්න. ඉතින් එයා ටීචර්ට ගැහුවා, ටීචර් එයාට ගැහුවා. පස්සේ ටීචර් අනෙත් ළමයින්ට කිව්වා එයා එක්ක සෙල්ලම් කරන්න එපා කියලා ඒත් හැමෝම සෙල්ලම් කළා.”

තුන්වෙනි දවසේ - ඒ පළමු සතියේ බදාදා දවසේ- චාල්ස් විසින් දැරියකගේ හිසෙහි සී සෝව වද්දා ලේ ගලන තුවාල සිදු කළ නිසා විවේක කාලයේදී ඔහුට පන්තියට වී සිටින්නට ගුරුවරිය අණ කර තිබුණි. බ්‍රහස්පතින්දා චාල්ස්ට පන්ති කාමරයේ මුල්ලට වී සිටින්නට සිදු වී තිබුණේ කතන්දර වෙලාවේදී නොනවත්වා අඩි හැප්පීම නිසාය. සිකුරාදා චාල්ස්ට කළු ලෑල්ලේ ලිවීමේ වරම් අහිමි වූයේ ඔහු රටහුණු වීසි කළ බැවිනි.

“ඔයා හිතනවද පෙර පාසල ලෝරීට ගැලපෙන්නේ නැහැ කියලා? මේ චන්ඩිකම්, නරක වචන… අනික මේ චාල්ස් කියන ළමයා දෙන්නේ හරි වැරදි ආදර්ශයක් නේ.” ඒ සතියේ සෙනසුරාදා දින මම සැමියාට කීවෙමි.

“ඕක හරි යයි,” ඔහු පිළිතුරු දුන්නේ මගේ සිත හැදෙන අයුරිනි. “ඔය චාල්ස් වගේ මිනිස්සු ලෝකේ ඉන්න පුළුවන් නේ. මෙයාට පස්සේ ඒ වගේ අය මුනගැහෙනවට වඩා හොඳයි ඒක දැන්ම සිද්ධ වෙන එක.”

සඳුදා ලෝරී පමා වී නිවසට ආවේ ආරංචි රැසක් සමඟිනි. “චාල්ස්,” ඔහු නිවස වෙත එන කන්ද නැඟගෙන එද්දීම කෑ ගැසුවේය. මා සිටියේ ඔහු එනතුරු කරදර සිතින් යුතුව දොරකඩට වී මඟ බලාසිටිමිනි. “චාල්ස්,” ඔහු මහා හඬින් කීය, “අදත් නරක විදිහට හැසිරුණා.”

“එන්න ගේ ඇතුළට,” ඔහු කිට්ටුවට ආ විට මම කීවෙමි. “ ඔයා එනකම් දවල් කෑම සුදානම් කරලා තියෙන්නේ.”

“අම්මා දන්නවද අද චාල්ස් මොකද කළේ කියලා?” ඔහු මා පසුපසින් ගෙතුලට එමින් ඇසුවේය. “චාල්ස් ඉස්කෝලෙදි කොයිතරම් හයියෙන් කෑ ගැහුවද කියනවානම් එයාලා එකේ පන්තියේ ළමයෙක්ව එව්වා ටීචර්ට කියන්න එයාව නිශ්ශබ්දව තියාගන්න කියලා. ඒ නිසා චාල්ස්ට ඉස්කෝලෙන් පස්සේ නවතින්න වුණා. ඉතින් අනෙත් ළමයිනුත් නැවතිලා එයා දිහා බලාගෙන හිටියා.”

“එයා ඉතින් මොකද කළේ?”

“එයා නිකම් වාඩිවෙලා හිටියා.” ලෝරී තම පුටුව මතට නඟිමින් කීවේය. “ආ තාත්තා! ඔයා නිකම් දූවිලි පිරුණු කොස්සක් වගේ”

“චාල්ස්ට අද ඉස්කෝලෙන් පස්සේ නවතින්න වෙලානේ.” මම සැමියාට කීවෙමි. “අනෙත් අයත් එයා එක්ක නැවතිලා.”

“ඔය චාල්ස් මොන වගේද?” ඔහු ලෝරීගෙන් විමසුවේය. “එයාගේ අනෙත් නම මොකක්ද?”

“එයා මට වඩා ලොකුයි.” ලෝරී කීවේය. “එයාට එළියට දාන සපත්තුත් නැහැ, එයා කවදාවත් කබායක් අඳින්නෙත් නැහැ.”

ඒ සඳුදා හවස් වරුවේ පෙර පාසලේ පළමු ගුරු දෙගුරු රැස්වීම යෙදී තිබිණි. බිළිඳු දියණියට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී තිබුණු බැවින් මට ඊට සහභාගී වන්නට නොලැබුණත් චාල්ස්ගේ මව මුණගැහීමට මට තදබල උවමනාවක් තිබිණි.

“අපේ ටීචර්ගේ යාලුවෙක් අද ඉස්කෝලෙට ආවා එයාව හම්බවෙන්න.” අඟහරුවාදා ලෝරී හදිසියේම කීවේය.

“චාල්ස්ගේ අම්මාද?” සැමියාත් මාත් ඇසුවේ එකවර ය.

“නෑහ්” ලෝරී අවඥාවෙන් කීය. “එයා මිනිහෙක්. එයා අපිට එක එක ව්‍යායාම කරන්න කිව්වා, පහත් වෙලා කකුලේ ඇඟිලි අල්ලන්න කිව්වා. මේ බලන්න.” ඔහු පුටුවෙන් බැස ගොස් නැමී තම පා ඇඟිලි ඇල්ලුවේය. “මෙන්න මේ විදිහට.” ඉනික්බිති ඔහු සන්සුන් ලෙස නැවත පුටුවට නැඟ තම ගෑරුප්පුව අතට ගත්තේය. “චාල්ස් නම් ඒ ව්‍යායාම කළේවත් නැහැ.”

“ඒකට කමක් නැහැ,” මම උද්යෝගයෙන් කීවෙමි. “ඇයි චාල්ස් ව්‍යායාම කරන්න අකමැති උනාද?”

“නෑහ්” ලෝරී කීය. “ටීචර්ගේ යාලුවා එක්ක ප්‍රශ්නයක් වුණ නිසා එයාට ව්‍යායාම කරන්න ඉඩ දුන්නේ නැහැ.”

“එයාගේ සුපුරුදු නරක හැසිරීමද?”

“එයා ටීචර්ගේ යාළුවාට පයින් ගැහුවා.” ලෝරී කීවේය. “ටීචර්ගේ යාලුවා චාල්ස්ට කිව්වා මේ මම කරන විදිහට පහත් වෙලා කකුලේ ඇඟිලි අල්ලන්න කියලා, චාල්ස් එයාට පයින් ගැහුවා.”

“ඔයා හිතන්නේ එයාලා චාල්ස්ට මොනවා කරයි කියලාද?” ලෝරීගේ පියා ඔහුගෙන් ඇසීය.

ලෝරී ඉතා සෙමෙන් උරහිස් හැකිලුවේය. “ඉස්කෝලෙන් එළවලා දායි මං හිතන්නේ,” ඔහු කීය.

බදාදාත් බ්‍රහස්පතින්දාත් සුපුරුදු ලෙස ගෙවුණි. කතන්දර වේලාවේදී චාල්ස් කෑ ගැසීමත් තවත් ළමයෙක්ගේ බඩට ගසා ඔහුව හැඬවීමත් සිදුවී තිබිණි. සිකුරාදා චාල්ස්ට නැවතත් පාසලෙන් පසුව නතර වීමට සිදු වූ අතර අනෙත් ළමෝ හැම දෙනාමද ඔහු සමඟ නතර වූහ.

පෙර පාසලේ තුන්වන සතිය වෙද්දී චාල්ස් අප නිවසේ වැදගත් තැනක් ඉසිලීය. බිළිඳිය හවස් වරුව පුරාම හැඬූ විට ඈ ‘චාල්ස්’ වී සිටියාය. ලෝරී කුඩා කරත්තයකට මඩ පුරවා කුස්සිය හරහා ඇදගෙන ආ විට ඔහු කළේ ‘චාල්ස් වැඩකි’. සැමියාගේ වැලමිට දුරකථන රැහනේ පැටලී දුරකථනයත්, අළු බඳුනත්, මල් බඳුනත් මේසයෙන් බිමට වැටුණු විට, මොහොතක් නිසොල්මන්ව හිඳ ඔහු පවා කීවේ “නිකම් චාල්ස් වගේ,” කියා ය.

තුන්වන සහ හතරවන සති තුළ චාල්ස් පුනුරුත්ථාපනය වන බවක් දිස් විය. “අද චාල්ස් හොඳට හිටිය නිසා ටීචර් එයාට ඇපල් ගෙඩියක් දුන්නා,” ලෝරී තුන්වන සතියේ බ්‍රහස්පතින්දා බැරෑරුම් ස්වරයකින් කීවේය.

“මොකක්?” සැමියාත් මාත් ප්‍රවේශමෙන් ඇසුවෙමු. “ඔයා ඔය කියන්නේ චාල්ස් ගැනද?”

“ඔව් චාල්ස්,” ලෝරී කීවේය. “එයා පන්තියට පාට කූරු බෙදුවා, ඊටපස්සේ පොත් ටික අස් කළා. ටීචර් කිව්වා එයා ටීචර්ගේ උදව්කාරයා කියලා.”

“මොකද වුණේ?” මා ඇසුවේ බලවත් සැකයෙනි.

“එයා ටීචර්ගේ උදවුකාරයා වුණා, එච්චරයි,” ලෝරී කීවේ උරහිස් ගස්සමිනි.

“මේ චාල්ස් ගැන කියන දේවල් ඇත්ත වෙන්න පුලුවන්ද?” එදින රාත්‍රියේදී මම සැමියාගෙන් ඇසුවෙමි. “මෙහෙම දේවල් වෙන්න පුලුවන්ද?”

“බලාගෙන ඉන්නකෝ,” ඔහු කීවේ අවිශ්වාසයෙනි. “චාල්ස් වගේ කෙනෙක් එක්ක වැඩ කරද්දී මෙහෙම වෙනවා කියන්නේ එයා සැලසුමක් ගහනවා වෙන්න පුළුවන්.”

ඔහු කී දේ වැරදි බවක් පෙනුණි. සතියකට වැඩි කාලයක් තිස්සේ චාල්ස් ගුරුවරියගේ උදවුකාරයා විය. හැම දිනකම ඔහු පන්තියට විවිධ දේවල් බෙදා දෙමින්, විවිධ දේවල් අසුරා තබමින් සිටි අතර කිසිවෙක්ට පාසලෙන් පසුව නැවතීමට සිදු වූයේ නැත.

“ලබන සතියේ ආයෙත් ගුරු දෙගුරු රැස්වීමක් තියෙනවා.” එක් හවස් වරුවක මම සැමියාට කීවෙමි. “මම එදාට චාල්ස්ගේ අම්මාව හොයාගන්න ඉන්නේ.”

“එයාගෙන් අහන්න චාල්ස්ට මොකද වුණේ කියලා,” ඔහු කීය. “මම කැමතියි දැනගන්න.”

“මටත් ඕන දැනගන්න.” මම කීවෙමි.

ඒ සතියේ සිකුරාදා වෙද්දී තත්ත්වය සාමාන්‍ය අතට පත්වී තිබිණි. “දන්නවද අද චාල්ස් මොකක්ද කළේ කියලා?” ඔහු දිවා කෑම මේසයේදී ඇසුවේ පුදුමය තැවරුණු කටහඬිනි. “එයා අද කෙල්ලෙකුට එක වචනයක් කියන්න කියලා කිව්වා. එයා ඒක කිව්වාම ටීචර් එයාගේ කට සබන් දාලා හේදුවා. චාල්ස් හිනාවුණා.”

“මොකක්ද වචනේ?” ඔහුගේ තාත්තා මෝඩ ලෙස ඇසුවේය.

“ඒක හොඳටම නරක නිසා මට ඔයාට රහසින් තමයි කියන්න වෙන්නේ.” ලෝරී කීය. එසේ කියා ඔහු පුටුවෙන් බැස තාත්තා වෙතට ගියේය. තාත්තා හිස පහත් කළ අතර ලෝරී ඉතා සතුටින් ඔහුට රහසින් යමක් කීවේය. තාත්තාගේ ඇස් පුදුමයෙන් මහත් විය.

“චාල්ස් පුංචි කෙල්ලෙකුට ඕක කියන්න කිව්වා?” ඔහු ඇසුවේ ගෞරවය මිශ්‍ර කටහඬිනි.

“ඒ කෙල්ල ඒක දෙසැරයක් කිව්වා,” ලෝරී කීවේය. “චාල්ස් එයාට කිව්වා ඒක දෙසැරයක් කියන්න කියලා.”

“ඉතින් චාල්ස්ට මොකද වුණේ?” සැමියා විමසුවේය.

“මුකුත් නැහැ,” ලෝරී පිළිතුරු දුන්නේය. “එයා පාට කූරු බෙද බෙදා හිටියා.”

සඳුදා උදය වරුවේදී චාල්ස් කුඩා දැරියව අත හැර ඔහුම ඒ නරක වචනය තුන් හතර වරක් කියා තිබුණු අතර ඒ හැම වතාවකදීම සබන් දමා ඔහුගේ මුව සෝදා තිබිණි. මීට අමතරව ඔහු රට හුණු වීසි කළ බවද වාර්තා විය.

ඒ හවස් වරුවේදී මා ගුරු දෙගුරු රැස්වීමට යන්නට පිටත් වෙද්දී සැමියා මා සමඟ දොරකඩට ආවේය. “රැස්වීමට පස්සේ තේ එකක් බොන්න චාල්ස්ගේ අම්මාව මෙහෙට අඬගහගෙන එන්න,” ඔහු කීවේය. “මට එයාව බලාගන්න ඕන.”

“ඒ ඉතින් එයා ආවොත් තමයි,” මා කීවේ යාඥා ස්වරූපයෙනි.

“එයා එයි.” ඔහු කීය. “එයාලාට චාල්ස්ගේ අම්මා නැතිව ගුරු දෙගුරු රැස්වීමක් තියන්න විදිහක් මට නම් හිතාගන්න බැහැ.”

රැස්වීම පුරාවටම මා පසුවූයේ නොසන්සුන්ව ය. එහි සිටි හැම කෙනෙක් දෙසම පරීක්ෂාවෙන් බැලූ මා චාල්ස් පිළිබඳ රහස සැඟවී තිබුනේ ඒ තැන්පත් විනීත මුහුණු අතරින් කවරකදැයි සොයන්නට විය. ඉන් එක් මුහුණක වත් ඊට ගැලපෙන පීඩිත බවක් තිබුණේ නැත. රැස්වීම අතරේ කිසිවෙක්වත් නැගී සිට තම පුතුගේ හැසිරීම ගැන සමාව ඉල්ලුවේ නැත. කිසිවෙක්වත් චාල්ස් ගැන සඳහන් කළේ නැත.

රැස්වීමෙන් පසු මම ලෝරීගේ පෙර පාසල් ගුරුවරිය හඳුනාගෙන ඈ වෙතට ගියෙමි. ඈ අත තේ කෝප්පයක් සහ චොකලට් කේක් කැබැල්ලක් සහිත පිඟානක් තිබුණු අතර මා අත තිබුණේ තේ කෝප්පයක් සහ මාෂ්මෙලෝ කේක් කැබැල්ලක් සහිත පිඟානකි. අපි දෙදෙනා ප්‍රවේශමෙන් එකිනෙකා වෙත ළඟා වී සිනා පෑවෙමු.

“මම ලොකු උවමනාවක් තිබුණා ඔයාව මුණගැහෙන්න,” මම කීවෙමි. “මම ලෝරීගේ අම්මා.”

“අපි හැමෝම හරි උනන්දුයි ලෝරී ගැන,” ඈ කීවාය.

“එයා පෙර පාසලට නම් කැමතියි,” මම පිළිතුරු දුන්නෙමි. “එයා හැමතිස්සෙම ඒ ගැන තමයි කියවන්නේ.”

“අපිට මුල සති දෙක තුනේදී හැඩගැහෙන්න ටිකක් අමාරු වුණා,” ඈ සංයමයෙන් යුතුව කීවාය. “ඒත් දැන් එයා හොඳ උදවුකාරයෙක්. ඉඳහිට පොඩි අතපසුවීම් වෙනවා නම් තමයි.”

“ලෝරී සාමාන්‍යයෙන් හරි ඉක්මණින් හැඩ ගැහෙනවා,” මම කීවෙමි. “මම හිතන්නේ මෙතැනදී නම් වෙන්න ඇත්තේ චාල්ස්ගේ බලපෑම.”

“චාල්ස්?”

“ඔව්,” මා පිළිතුරු දුන්නේ සිනාසෙමිනි. “ඔයාලට චාල්ස් නිසා හොඳට වැඩ ඇති නේද?”

“චාල්ස්?” ඈ ඇසුවාය. “මේ පෙර පාසලේ චාල්ස් කියලා ළමයෙක් නැහැ.”


Nissanka Rajapaksa

unread,
Jul 22, 2024, 7:50:51 PM7/22/24
to INDRAKA group
13
තෑංගේ බයිසිකලය

පරිවර්තනය මේරියන් අබේවර්ධන 












Nissanka Rajapaksa

unread,
Jul 23, 2024, 9:33:45 PM7/23/24
to INDRAKA group
14
දුරින් හිඳ ඇසිපිය නොලා 

- පවිත්‍රා අභයවර්ධන
 
වෑන් රිය කඳු පාරෙ ගිහින් , ගිහින් කන්ද මුදුනේ හදල තිබුණ අපූරු අවන්හල ළග නැවතුණා. 

"ධම්මි මිස් වගේමයි මිස්ගෙ චොයිසස්!“ දීප්ති කිව්වෙ හැරිලා වටේම බල බල. “මාර ක්ලාසි”

කන්ද මුදුනේ අවශ්‍ය ම ගස් ටිකක් විතරක් අයින් කරලා වීදුරු, ලී එකතු කරලා හදල තියෙන්නේ අපූරුම අවන්හලක්..

ධම්මිකා මිස් උසස්වීමකුත් එක්ක නුවර ගම් පළාතට මාරු උනේ කාර්යාලයේ ‍ලොකු හිස් තැනක් තියලා. 

කට්ටිය මිස්ට තෑගි දුන්නා. පාටි දුන්නා. කවි ලියලා, චිත්‍ර ඇඳලා දුන්නා. ෆේස්බුක් එකේ දැම්මා. දැං ගිහින් මාසෙකට විතර පස්සේ මිස්ගෙන් කාර්යාලෙ සහෘදයන්ට දෙන පාටිය තමයි අද.

ලස්සන කුර්තාවක් ඇඳලා මාලනී ෆොන්සේකා වගේ ඉන්න ධම්මි මිස් හිනා වෙවී ඉස්සරහට ඇවිත් කට්ටියව පිළිගත්තා. "අප්පේ එන්න එන්න මගේ කෙල්ලො ටික. මට සෑහෙන්න මිස් වෙනවා ඔය කට්ටියව ‍එහෙදි,”

ගෑනු ළමයි ටික වාඩි උනේ කෙළවරේම මේසෙක. මඳ අඳුරක් තියෙන්න ළන්තෑරුම් එල්ලලා තියෙන අවන්හලේ වීදුරු දොරවල් වලින්  සීත සුළං හමනවා. 

විනාඩි දයහක පහළවක දුරකින් මහා
කලබල නගරයක් තියෙනවා කියල හිතන්නවත් බැරි නිස්කලංක ගතියක් පැතිරිලා. කාටවත් හඬ නගලා කතා කරන්නවත් නොහිතෙන මායාමය බලයකට අහුවුණු මත්බර තැනක් වගෙ. 

ඈත මේසවල මධුවිතෙන් රසවත් වෙන පිරිමි උදවියට නම් ඒවා ගාණක් නෑ. විටින් විට ඒ පැත්තෙන් ඇහෙන උස් හිනා හඬ මේ පැත්තට ඇහෙනවා. එයාලා ආවෙ ටිකක් කලින්. වෑන් එකේ අන්තිමට ආපු ගෑනු ළමයි ටික තමයි දවසේ කටයුතු අවසන් කරලා කාර්යාලයෙන් පිට උනේ.

---------
වේටර්වරයෙක් කට්ටියට බීම ගෙනත් ඇල්ලුවා.

"තාම එළිය තියෙන නිසා මිස්ලට ඕනි නම් අර පැත්තෙ ඇවිදින්න පුලුවන්. ටේබලස් දාලත් තියෙනව. අපේ නැචුරල් පූල් එකත් එතන තියෙන්නෙ"

කෙල්ලො ටික බැදපු අල කූරු, කජු පීරිසි අරගෙන ඒ පැත්තට ගියා. ඇත්තටම කන්ද මුදුනේ ඉඳන් හාත්පස ලස්සනටම පේන තැනක්. කැළේ මැදින් අඩි පාරකුත් කපලා. සිමෙන්තියෙන් මේස පුටු හදලා තියෙන්නෙ බෑවුමට මූණ දාලා. කලබල නගරේ, කොළ පාට කුඹුරු පදාස, නයෙක් වගේ නිල් පාටින් පේන ගඟ, ඔක්කොම චිත්‍රයක් වගේ. ඒ පැත්‍ත පුරාවට ඇට්ටේරියා, අරලිය ගස්. සුවඳින් හිතම මත් වෙනවා වගේ.

නොනවතින අධික වැඩ එක්ක යන්ත්‍ර වගේ වැඩ කරන අය හැබෑ මිනිස් ස්වරූප ගන්නෙ මේ තැන්වලදී. ඒත් තමන්ට අද මේ සුන්දරත්වයෙන් මත් වෙන්න වෙන්නෙත් සීමාවකට නේද කියල මතක් වෙලා කල්පනාට සුසුමක් හෙළුණා. ඩිප්ලෝමාවෙ ඊළග විභාගෙ සති අන්තයේ. කාර්‍ර්යාලයෙත් අධික වැඩ සති නිසා අධ්‍යයන නිවාඩු ඉල්ලන්නෙත් නැතුව යන්තම් පාඩම් බලාගත්තෙ රෑට රෑට ගෙදර ගිහින්. 

අද ආවෙ ධම්මි මිස් නිසාමයි. අම්මා කෙනෙක් වගේ සේවකයන්ට සළකපු ගුණේ තියන්න ඕනි නිසා. ඒත් කලින් යන්න ඕනි. 

මොනවද මේ ජීවිත? දුවනවා දුවනවා විතරයි කියල වෙලාවකට හිතුණට ඒ දිවිල්ලෙන් මිදිලා පැත්තකට වෙන්න බෑ. තමන් එක තැන ඉද්දි අනිත් අය දුවනව දකිද්දි ආයෙ රේස් එකට එකතු වෙන්න හිතෙනව.

සිමෙන්ති මේසෙට වැටිල තියෙන විසිරිච්ච ඇට්ටේරියා පෙති ඇගිලි වලින් එහා මෙහා කර කර කල්පනා පහළ බලන් හිටියා. කාර්යාල ඇඳුමෙන් මාරු වෙලා ඇඳගෙන හිටපු අත් රහිත කළු ගවුමෙන් නොවැසුණු දෙඋරේ පහළින් හමාගෙන එන සීතල සුළඟ නිසා හිරිගඩු පිපුණා.

කෙල්ලො විවාහ, ටැටූ, රිලැක්සිං, රිබොන්ඩින්, වේට් ලොස්, ඉන්ක්‍රිමන්ට්, ජිම්, බෝනස්, දේශපාලනය, නළු නිළියෝ එකී මෙකී දේවල් ගැන කතාව පටන් ගත්‍තා. 
--------
එතැනට පෙනී නොපෙනී තියෙන අවන්හලෙන් ගිටාරයක් සුසර කරන හඬ ඇහුනෙ තවත් ටික වෙලාවකට පස්සෙ. අඳුර ගලාගෙන ඇවිත් මිටියාවත ටික ටික ඇස්වලින් මුවා කළාට පස්සෙ. 

"ධම්මි මිස්ගෙ ගෙදර තියෙන පාටිවලත් පැදුරක් හරි කැලිප්සෝ ගෲප් එකක් හරි වරදින්නෙ නෑනෙ" නයෝමි කිව්වෙ හිනාවෙවී. "මිස්ලා ඇත්තටම ජීවිතේ හොඳට විඳිනවා."

"කල්පනා ලොව මල් වනේ
සිහින රජ දහනේ
ආදරේ
ආදරේ"

අමෲතය වගේ හඬක් අදුර මැදින් පාවෙලා ආව. කල්පනා තිගැස්සුණා. 

"කල්පි බය උනා" තේරුමක් නැති දේටත් හිනාවෙන මූඩ් එකක හිටපු කෙල්ලො ටික කිචි බිචි ගාල හිනා උනා. "කල්පනා ලොව මල් වනේ විසිරුණාද?"

ඒත් කල්පනාට හිනාවෙන්න බැරි වෙන්න මූණ තද වෙලා තිබුණා. සීතල අත්වලට වඩා මරණීය සීතලක් පපුව ඇතුළට දැනුණා. 

අවුරුදු ගාණක් අතීතයට ක්ෂණයකින් කාල තරණය කරවන්න පුලුවන් ගීයක් ඒ. 

------------
එක්තරා ඈත අතීතෙක මධ්‍ය විද්‍යාලයක හිටපු යොවුන් ගායකයෙක් ඒ ගීයෙන් මතුවෙච්ච මතක මාවතේ දුවගෙන ආව. කවදාවත් හෙමින් ගමනක් නැති ගායකයා හීනෙන් ආවත් මතකෙන් ආවත්, ආවෙ මහා දාංගලේකින්.

 කූරු කොන්ඩෙ මූණට වැටිලා, ඒ අස්සෙන් දිගු ඇසිපිය තියන හැඟීම්බර ඇස් දෙකෙන් ලොකු කතාවක් කිය කිය.

ගායකයාට ගුරුවරු නැති කාල පරිච්ඡේදවල සින්දු කියන්න තමන්ගෙ පන්තියෙන් වගේම අල්ලපු පන්තිවලිනුත් නිතර ආරාධනා ලැබුණා. ඒ හැමදාම ගීත පටන් ගත්තෙ මේ සින්දුවෙන්. ඒ ගීය ගයල ඉවර උනේ පන්තියේ ඉස්සරහම පේළියේ පොතකට බරවෙලා හරි නවකතා පොතක් කියවන හරි කෙල්ලෙක් දිහා ආයාච්නාත්මකව බලා ඉඳීමෙන්.

මුලු පන්තියම කොක් අඬලලා හිනා උනත් මේ පුරුද්ද කවදාවත් නැවතුණේ නෑ. ඉස්කෝලෙ ප්‍රසිද්ධම ගායකයාගෙ ඒක පාර්ශවික ප්‍රේමයත් සිසුන් ගුරුවරු අතරේ ඒ තරම්ම ප්‍රසිද්ධ උනා. ඒත් ඒක වෙන දෙයක් නොවෙන බව කාටවත් කියන්න ඕනි උනේ නෑ.

"අරූ පිස්සෙක් නෙ. අනාගතයක් නෑ. අර කෙල්ලට මං ස්ටාෆ් රූම් එකට අඬගහලම කිව්ව නිකම්වත් පැටලෙන්න හිතන්න එපා කියල. අනිවාර්යයෙන් කැම්පස් යන්න පුලුවන් ළමයෙක් නෙ කල්පනා."

ඉකෝන් මිස් පවා දවසක් කිව්වෙ ඒකයි.

ඉස්කෝලෙ උත්සවවලට ගායකයා, නාරද නැතුව බැරි උනා. ඒත් හැමදාම නඩු. කොන්ඩෙ කෙලින් කරල, පාට කරල ඇවිත් හැමදාම ප්‍රින්සිපල්ගෙ කාමරේ. කලිසම ඉණ පල්ලෙන් එල්ලෙනව. මී පැනි වගේ කටහඬ නිසයි ගායනා තරගවලින් සමස්ත ලංකා යන නිසයි හැමෝගෙම ආදරේ තිබුණට මිනිහා ගැන ලොකු බරක් තිබුණේ නෑ කට්ටියගෙ හිතේ.

"උඹ පිස්සෙක්නෙ. කල්පනා උඹට හරියන්නෙ නෑ" යාලුවොත් කිව්ව. ගායකයා තරහ නොවී හිනා උනා. විජයගෙ වගේ දිගටි, පැහැපත් මූණෙ හිනාවෙන ඇස් කොන් හීනි උනා.

"උඹ ලස්සනටයි කටහඬටයි නම් රැවටෙන්න එපා. ඔය හිනාවෙද්දි ඇස් කොණේ ඉරි තුන හැදෙන එවුන් මහ වල් ලු. ඊටත් මියුසික් කාරයො කොහොමත් එහෙමනේ." එච් පී අයියත් එක්ක හොර රහසේ යාලු වෙලා හිටපු මියුරු කල්පනාට කිව්ව. කසාද දෙක තුන බැන්ද ගායකයෝ මහා ගොඩක්ගෙ ලැයිස්තුවකුත් කිව්ව.

කල්පනා කණකටවත් ගත්තෙ නෑ. නාරද ගැන බිංදුවක්වත් හිතේ තිබ්බෙ නැති නිසා. 
----
ඒ බින්දුවක්වත් නැති හිත එහෙමම තිබුණා නං අද දුකක් නෑ. එච්චර තේරුමක් ඒ වයසටත් තිබුන මම මොකද්ද ඒ කලේ. මේ ගතවෙච්චි අවුරුදු ගාණට දස දහස් වාරයක් තමන්ගෙන්ම අහගත්තු ප්‍රශ්නෙ කල්පනා ආයෙත් අහගත්ත. ලොකුම දුක "ඇයි අත අරින්න නම් මගෙ අත පොඩි කාලෙකට අල්ලගත්තෙ" කියන දේ නාරද අහපු නැති එක. තමන් කලපනාට ගැළපෙන්නෙ නැති බව ඇහිල ඇහිලම ඔහුත් ඒක පිළිගත්තද දන්නෙ නෑ. කවදහරි මං ඔයාට හරි යන කෙනෙක් වෙන්නම් කියල හිත හොදින් අයින් උනාට ඒක වෙන දෙයක් නොවෙන බව දෙන්නම දැනගෙන හිටියා. 

කල්පනා හැරිල ආපහු බලපු හැම වෙලේම තමන් අතර දුර තවත් වැඩිවෙලා මිස අඩුවෙලා පෙනුණෙ නෑ. නාරද ගෲප් වලට එකතු උනා, වෙඩින්වල සින්දු කිව්ව, සුපර්ස්ටාර් අන්තිම දහයට ගියා. අන්තිමට රට ගියා. ඒ කොයි තැනදි හරි පෙරළියක් වෙයිද කියල කල්පනා බැලුව. නොබැලුව නෙවෙයි. ඒත් ඒක උනේම නැති පාර උසස් පෙළ පන්තියේ ඒ මාස ගාණ හීනයක් වගෙ හිතේ අහකට කරල දැම්ම. ඒත් හිතෙන් පිච්චුනා.

"අම්මල කැමති නෑ. තාත්ත මරන්න හැදුව මාව." කියද්දි ඊට යටින් නාරදගෙ සැහැල්ලුබව, කට්ටිය කියන අනාගතයක් නැති කම, නාරදලා තමන්ගේ ගෙයක නැතුව තාත්තගෙ නිල නිවසේ ඉඳීම වගේ නොගැළපීම් ගොඩකුත් යටින් තිබුන බව දැනගෙන හිටියෙ කල්පනා විතරයි. ඒක කටුවක් වගෙ හිතේ ඇනිලා කාලෙකට සැරයක් පැසවල ඇදුම් කෑවා. ජීවිතේ කවදාවත් කාටවත් වරදක් නොකළත් සමනලයෙක් වගේ සැහැල්ලුවෙන් පාවි පාවි හිටපු අවුරුදු දහ නවයක් කොල්ලෙක්ගෙ හිතත් එක්ක තමා සෙල්ලම් කළා නේද කියන එක මහා අපරාදයක් කළා වගෙ හිතේ ඉතුරු වෙලා තිබුනා. ඒත් ආදරේ විතරක් හින්දා එදාටත් වඩා මහා නොගැලපීම් ගොඩක් එක්ක එකතු වෙන්න හිත හදාගන්න කල්පනාට කවදාවත් බැරි උනා. නාරද එක එක පාරවල්වල ගිහින් උත්සාහ කරන බව ආරංචි වෙද්දි කල්පනා තමන් තෝරගත්තු පාරෙ දිගටම ඉස්සරහට ගියා.

-----
"මදුරුවෝ නේද යංද උඩට?" ගොලු වෙලා හිටපු කල්පනා හීනෙන් වගේ කට්ටිය එක්ක උඩට ගියා. "අනේ ඒ වෙන කෙනෙක් වෙන්න" හිතින් කිය කියා. ඒත් වීදුරු දොර අස්සෙන්, ළන්තෑරුම් එලියෙන් පෙණුනත් ඒ හැඩේ අඳුරගන්න බැරිවෙන්න මැරිලා ඉපදෙන්න වෙයි. ගිටාරයත් අතේ තියාගෙන නාරද ඕවිටිගම අවන්හල මැද්දෙ සින්දු කිය කිය හිටියා.

කල්පනා මහා තිගැස්මකින් ඔහුව පහු කරල යද්දි එක පාරකට ඇස් උස්සලා බැලුව.

"සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා"
කිය කිය හිටපු නාරදට ස්වර පැටළුනා. ඔහුත් තිගැස්සිලා බලල ආයෙ අසල තිබුණ මේසෙ පැත්තට හැරිලා ගයන්න පටන් ගත්තා. 
----------
කල්පනා මහා අපහසුවකින් වාඩිවෙලා හිටියා. ගිහින් නාරදට කතා කරනවද? මේ මගේ ක්ලාස් මේට් කෙනෙක් කියල සිල්ලරට අදුන්නලා දෙන්න පුලුවන්ද?. 

මේස ළගට මාරු වෙවී ගී කියන ගායකයාගෙ රූපේ දිහා බලාගෙන කල්ප්නා හිතුව.

"හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ
මම විදිම් සෙනේ මහ මෙරක් වගේ" 

නාරද ටිකකින් කෙල්ලො හිටපු මේසෙ ළග හිටගෙන ගයන්න පටන් ගත්තා. ඇස් පියාගෙන.

කල්පනා ඒ තත්පරේට හැමදේම හිතේ ඇඳගත්තා. යොවුන් වියේ හිස් කඩදාසියක් වෙච්ච හිතේ කටු පෑනකින් සීරී සීරි ඇදපු රූපෙ. පස්සෙ උඩින් කොච්චර වටිනා තීන්ත සිතුවම් ඇන්දත් අර සීරුම් ඉතුරු වෙලා තියෙනව. සැරින් සැරේ හිතේ පොතු ගැලවෙනව..

"බව කතර අතරමග සිටියෙම්
ඔබ ලබන උරුම හැම සතුවෙම්
රළු සරෙන් පැමිණියද
ඔබම වේ මට සැනසුම්
මට සැනසුම්"

ඇස් වහ්ගෙන හිටපු නාරද ඇස් ඇරියේ ඒ පද ටික කියන්න. ඒ ඇස් කෙළින්ම කල්පනා දිහා බලාගෙන හිටියා.

ඝරසරප බලලා කමලුයි සංගීතයි බදාගන්න තැනදි උනා වගේම පපුව හිරවෙලා කදුලු උනද්දි කල්පනා බිම බලා ගත්ත.   

සින්දුව ඉවර කරපු නාරද ටිකක් බලා ඉඳලා හීනි ඇස් දෙකෙන් එක පාරක් හිනාවෙලා අනිත් මේසෙට හැරුනා.
------
"අන්න චරණ"

මොරීන් කියද්දි කල්පනා ගැස්සිලා හැරුණා. අවන්හලේ දොරටුව ළග ඉදන් වටපිට බලන චරණ කල්පනාලව දැකලා මේසෙට ආව.

"ඔයාගෙ ෆෝන් එක කෝ. මම තැන හොයාගන්න බැරුව කෝල්ස් ගත්තා සෑහෙන පාරක්. යමු නේද එහෙනම්. මිස්ට කියල එමු. යං' 

 කල්පනාගෙ වැලමිටෙන් අල්ලගත්තු චරණ ධම්මි මිස් ඉන්න මේසෙට ගියා.

"අනේ කල්පනා යන්නද? චරණ අනේ පුතේ කෑම ටිකක් කාල යමු"

"අනේ යන්නම් මිස්. එක්සෑම එකට මුකුත්ම බලන්න උනේ නෑ.'

"අනේ කමක්නෑ එහෙනම්. ආව එකම ඇති. අපි එන්නම්කො ලබන මාසෙ"
ධම්මි මිස් හිනා උනා.

අලුත් මනමාලි හිරි වැටිච්ච මූණින් ඉද්දි මනමාලයා කට්ටියටම සමුදීලා පිටත් උනා. 

---
"ඔයාට මහන්සිද? ඇගත් සීතල වෙලා ෂෝල් එකක්වත් නැද්ද බෑග් එකේ. ?" සුදු කාර් එක ළග නැවතිලා දොර අරින ගමන් චරණ අහුවා. කල්පනා නෑ කියල හිස වැනුව.

"එක්සෑම් ස්ට්‍රෙස් නෙවෙයිනෙ.ඔයාට ඒව ගේමක් නෑනෙ.ඔයා බ්‍රයිටනෙ. "

චරනගෙ ඇස් හීනි වෙලා ඉරි තුන මතු උනා.

කල්පනා අසුනට නැගල ඉඳගත්තා. එහා පැත්තේ ට්‍රේල් බයික් එකක්. කල්පනා ඒ කාලෙ දොළහට පාඩම් කරල ඉවර කරල කාමරේ ලයිට් නිව්වම වංගුවෙ නවත්තලා තිබුන ටේල් බයික් එකක් දෙපාරක් හෙඩ් ලයිට් ගහලා සැර දාල ගිය හැටි මතක් වෙලා කල්පනා අවන්හල ඇතුළ බැලුවා. 

අවන්හල ඇතුළේ අවතාරයක් වගේ හිටගෙන රිය ගාල දිහා බලාගෙන ඉන්න රූපයක් වීදුරු දොරටු අතරෙන් බොඳවෙලා පෙණුනා.
------------

"නියම තැන නේද? මම කවුන්ටර් එකෙන් ඇහුව. කබානාස් තියෙනවලු. අපි හුන්නස් ෆෝල්ස් යන්න කලින් හරි පස්සෙ හරි දවසක් මෙහෙත් එමු" 

චරණ රිය හරවලා ගත්තා.

"සීතලයි නේද. ෂටර් එක වහන්න." 

කල්පනා දොරේ වීදුරුව ඉහලට ඔසව්ද්දි ඇට්ටේරියා, අරලිය සුවද මුසු වෙලා අදෝනාවක් වගේ ගී පද අඳුර මැදින් ගලාගෙන ආව. 

"දුරින් හිද ඇසිපිය නොලා
බලා ඉන්නට අවසරයි
සංසාරයේ
පතා ආවෙත් එලෙසමයි" 


Nissanka Rajapaksa

unread,
Jul 24, 2024, 9:57:19 PM7/24/24
to INDRAKA group
15
උපන් දිනය 

(අරුණ පුවත්පත | 2024.07.21)

- කසුන් සමරතුංග 

එය, එහි නැත !

ලිහිණි පත්තරය දෙසම බලා සිටියාය. ඇගේ ඇසිපිය නොසෙල්විණ. අඩක් විවර වූ මුව තුළින් ඇදී ආවේ හීතල හුස්ම රළ කීපයකි. දෙඅත වෙව්ලයි. උමතු වෙසින් පත්තර පිටු පුරා සැරිසරන දෙනෙතට නිවනක් නැත.

නමුත් එය, එහි නැත !

ලිහිණි අසිහියෙන් මෙන් පුටුවක ඉඳ ගත්තාය. නැවත පත්තරය මුල සිට අගට පිරික්සුවාය. නැත, නැත, නැත ! නොකඩවා සත් වසරක් එක දිගට එහි පළ වූ එය අද නැත. සුදුමැලි වතින්ද, ගල් ගැසුණු ගතින්ද යුතුව ලිහිණි බොහෝ වේලාවක් බලාගත් අතම බලා සිටියාය. ඇගේ සුරත දැඩි විය. ඊළඟ මොහොතේ ඈ අතින් වියරුවෙන් මෙන් වීසි වූ පත්තර පිටු හිස් අවකාශයේ එහෙට මෙහෙට පාවී ගොස් ගෙයි සාලය පුරා තැනින් තැන විසිරී පතිත විණ.

********************

විශාක වැඩ ඇරී තරමක් කලින් ගෙදර පැමිණියේය. අද බිරිඳගේ උපන් දිනය නිසා රාත්‍රී ආහාරය සඳහා ඇයව පිටතට කැඳවාගෙන යන්නට ඔහු පොරොන්දු වී සිටියේය. සාමාන්‍යයෙන් පෙර මගට පැමිණ තමා පිළිගන්නා බිරිඳ අද නැත්තේ මන්දැයි සිතමින් ඔහු දොර ඇරගෙන ගෙදරට ඇතුළු විය. ඇය පෙනෙන්නට නැත.

"ලිහිණී..." ඔහු තරමක් උස් හඬින් කතා කළේය.

පිළිතුරක් නැත. සාලය පුරා විසිරී ඇති පත්තර පිටු පමණක් විවර කරන ලද දොරෙන් ඇතුළු වූ සුළං පහරක ග්‍රහණයට නතුව 'සර සර' හඬක් නංවයි. එය තරමක් අමුතු දර්ශනයකි. ඉතා පිළිවෙල ගැහැනියක් වූ ලිහිණි ගෙයි සාලය පමණක් නොව නාන කාමරය, කුස්සිය, නිදන කාමරය පවා මෙසේ හැඩි වීම නොඉවසන්නියකි.

විශාක කුහුලින් යුතුව පඩි පෙළ නැග උඩු මහලට පිවිසියේය. නිදන කාමරයෙහි දොර අඩක් විවෘතව තිබේ. ඔහු එය සම්පූර්ණයෙන්ම ඇරගෙන කාමරයට ඇතුළු විය. ලිහිණි සයනය මත මුණින් තලාව වැතිර සිටියාය.

"ලිහිණි..." විශාක එවර කතා කළේ මෘදු කට හඬකිනි.

නමුත් ඇගෙන් පිළිතුරක් නැත. ඇඳේ පසෙකින් වාඩි වූ ඔහු ඇගේ පිට මතට සීරුවෙන් අත තබා යළිත් කතා කළේය.

"ලිහිණි, ඇයි මේ? ඔයා අසනීපෙන්ද?"

"මගේ ඔලුව ටිකක් කකියනව." ලිහිණි හිස නොඋස්සාම කතා කළාය. ඈ කෙරෙන් මතුව ආවේ දුබල ස්වරයකි.

"එහෙමද? කෝ, බලමු." විශාක ඇගේ ගෙල පසුපසට අත තැබුවේය. "රස්නෙ ගතියක් නම් නෑ. කෝකටත් අපි බෙහෙත් ටිකක් ගමුද?"

"නෑ, ඕන්නෑ. ටිකක් මෙහෙම හිටියම හරි යයි." බිරිඳගේ කටහඬ උදාසීන ය.

"එහෙම කියල බෑනෙ ළමයො." සැමියා කීවේය. "දැන් අපි ඩිනර් ගන්න එළියට යනවනෙ කොහොමත්. ඒ ගමන් ඩොක්ටර් ළඟටත් ගිහින් යමු."

"මට දැන් කොහෙවත් යන්න බෑ විශාක." එවර ලිහිණිගේ කටහඬ තරමක් දැඩි වී තිබිණ. "මට පොඩ්ඩක් මෙහෙම ඉන්න දෙන්න. ප්ලීස් !"

විශාක විස්මයෙන් ඈ දෙස බැලුවේය. අද ඇගේ හැසිරීම පමණක් නොව ආමන්ත්‍රණය පවා වෙනස් ය. ඈ නිතර ඔහු අමතන්නේ 'විශ්' යන කෙටි, හුරතල් නාමයෙන් මිස විශාක නමින් නොවේ.

"මං අද ටිකක් කලින් ආවෙත් ඔයාව එළියට එක්කගෙන යන්න." එවර ඔහුගේ කටහඬ දුබල ස්වරයක් ගෙන තිබිණ.

"මට බෑ දැන් කොහෙවත් යන්න." ඈ යළිත් දැඩිව කීවාය. "ඔයාට ඕනෙ නම් පුතා එක්ක එළියට ගිහින් එන්න."

කිසිවක් නොකී විශාක ඇඳෙන් නැගී සිටියේය. ඇඳුම් රාක්කය මත වූ තුවාය අතට ගත් ඔහු යළිත් ඈ දෙස නොබලා ම නාන කාමරයට ඇතුළු විය.

********************

"ආච්චා, අනේ බලන්නකෝ. අපේ අම්මි දැන් හරි වෙනස්. ඉස්සර වගේ නෙවෙයි."

"අනේ ඇයි පැටියො එහෙම කියන්නෙ? අම්මා ඔයාට මොකද කළේ?"

"අම්මිට දැන් පොඩ්ඩ ඇත්නම් තරහ යනවනෙ. මාත් එක්ක විතරක් නෙවෙයි. තාත්ති එක්කත් එහෙමයි."

"ඇහ්..."

"ඔව් ආච්චා, ළඟදි දවසකත් අම්මි, තාත්තිට හොඳටම බැන්නා. හැබැයි තාත්ති මොකුත් නොකියා අහගෙන හිටියා. හෙලෝ, ආච්චා ! ඔයාට ඇහෙනවා නේද මං කියන එක?"

"ඔව් පැටියො ඔව්. කියන්නකො."

"කවදාවත් නැතුව ඊයෙ අම්මි මට ගැහුවත් එක්ක."

"ඒ මොකද ඒ?"

"මං ටීවී බල බල ඉන්නකොට අම්මි ඇවිත් දැන් ගොඩක් වෙලා බැලුව නේද, ඔය ඇති, ටීවී එක ඕෆ් කරන්න කිව්වා. මං කාටූන් එකක් බල බල හිටියෙ. ඒක ඉවර වුණාම ඕෆ් කරන්නං කිව්වම, කියන දේ අහන්නෙ නෑ, එකට එක කියන්න එනවා කියල මගේ පිට මැදට හයියෙන් එකක් ගැහුවා. මට හරියට රිදුණත් එක්ක ආච්චා."

"අනේ..."

"ආච්චා සීයාත් එක්ක ඉක්මනට අපේ ගෙදර එන්න. අපි සීයාට කියල අම්මිට හොඳ ගුටියක් දෙමු. සීයාට හොඳටම තරහ යයි අම්මි මට ගැහුවා කිව්වම."

"සීයා මේ දවස්වල ලෙඩ වෙලානෙ ඉන්නෙ පැටියො. ඒක නිසා අපි සීයාට ඒක කියන්නෙ නැතුව ඉමු, හොඳේ? ආච්චා එන්නංකො ඉක්මනට මගේ පැටියව බලල යන්න."

"එහෙනං ආච්චා ඇවිල්ලා අපේ අම්මිට හොඳ ගුටියක් දෙන්න ඕනෙ."

"හා, පැටියො හා !"

"යේ... යේ... යේ..."

********************

"මචං විශාක, උඹට මාලු කෑල්ලක් දාන්නද?"

"හා !"

"ආ, මේ කොළ මැල්ලුම් ටිකකුත් ගනිං. ඕක අපේ වයිෆ්ගෙ ස්පෙෂල් රෙසිපියක්."

"හ්ම් !"

"මොකද මචං බකමූණෙක් වගේ හා, හ්ම් ගාන්නෙ? මං දැන් දවස් ගාණක් බලන් හිටියෙ. උඹ ඉන්නෙ එච්චර හොඳ මූඩ් එකක නෙවෙයි. ඔය බලපන්, කෑම එක වුණත් හරියට කන්නෙ නෑ. බොරුවට අත ගගා ඉන්නව විතරයි."

"අනේ මන්ද මචං. මට උඹත් එක්ක විතරයි ඔෆිස් එකේ මේ වගේ දෙයක් ගැන ඕපන් කතා කරන්න පුළුවන්. මං ප්‍රශ්නෙක තමයි ඉන්නෙ. මගේ හිතට හරි නෑ."

"මට තේරුණා. මං කොහොමත් උඹෙන් ඒක අහන්න හොඳ වෙලාවක් එනකං බලන් හිටියෙ. ඕනෙම අවුලක් කියපන්. මගේ පැත්තෙන් කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කරන්නම්."

"උඹට කරන්න පුළුවන් දෙයක් ඇති කියල මං හිතන්නෙ නෑ. පුළුවන් නම් මට කරන්න ඕනෙ මොකද්ද කියල උපදෙසක් දීපං. ප්‍රශ්නෙ තමයි ලිහිණි !"

"ලිහිණි?"

"ඔව් මචං, මෑතක ඉඳල ලිහිණි හරි වෙනස්. මාත් එක්ක හරියට මූණ බලල කතා කරන්නෙත් නෑ. ඒ මදිවට හරියට තරහ යනවා. මාත් එක්ක විතරක් නෙවෙයි පුතා එක්කත් එහෙමයි."

"මොකක්? මට නම් හිතා ගන්නත් බෑ. සාමාන්‍යයෙන් ලිහිණි හරි සන්සුන් චරිතයක්නෙ."

"ඒක තමයි මචං මටත් තියෙන ප්‍රශ්නෙ. හේතුවක් ඇහුවට කියන්නෙත් නෑ. ඒ වෙලාවටත් ඇඟට කඩන් පාත් වෙනවා. මගේ වුණත් මචං ඉවසීමෙ සීමාවක් තියෙනවනෙ."

"ඔව්, ඒක හරි. උඹට හේතුවක් හිතාගන්නත් බැරිද? මං මේ අහන්නෙ උඹේ පැත්තෙන්..."

"පිස්සුද මචං? උඹ දන්නවනෙ මං ගැන. මගේ අතින් දැනුවත්ව නම් මේ අවුරුදු පහ, හයටම ලිහිණිට කිසිම වරදක් වෙලා නෑ."

"ඒකනෙ ඉතිං. එහෙනම් මොකද මේ?"

"උඹට කියන්න මේ ළඟදි මං වැඩකට එයාගෙ ඔෆිස් එකේ යාලුවෙකුට කතා කළා. ඒ ගෑනිත් මගෙන් අහනවා ලිහිණි මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නෙ කියල. බලද්දි මෙයා ඔෆිස් එකෙත් කීප දෙනෙක් එක්ක ප්‍රශ්න ඇති කරගෙන. දවසක් ලොක්ක එයාව ගෙන්නල අවවාදත් කළාලු. උඹ දන්නවනෙ, එයා සාමාන්‍යයෙන් එහෙම කෙනෙක් නෙවෙයි."

"ඒකනෙ බං මාත් කියන්නෙ. මටත් හිතාගන්න බෑ. මේක ෆුල් සීරියස් සීන් එකක්නෙ."

"පොඩි එකත් ගෙදර ඉන්නෙ තුෂ්ණිම්භූත වෙලා වගේ. ඒක කොල්ලට හොඳත් නෑ ඉස්සරහට."

"ඒක තමයි. උඹ දැන් මගෙන් උපදෙසක්නෙ ඉල්ලුවෙ. මගේ උපදෙස තමයි උඹ ලිහිණිව එක්කගෙන පලයං ඩොක්ටර් කෙනෙක් ළඟට. හොඳ මනෝ වෛද්‍යවරයෙක් ළඟට. හැමෝටම ඔය වගේ අමාරු කාල එනව මචං. විශේෂයෙන්ම ගෑනු අයට. උන් අපිට වඩා කොච්චර බරක් අදිනවද? ගෙවල්වල, ඔෆිස්වල, ළමයින්ගෙ වැඩ, තව කොච්චරක් කියල දේවල්ද? ඒක නිසා ඕක මොකුත් අමුතු දෙයක් නෙවෙයි."

"මාත් කල්පනා කළේ ඒක තමයි මචං."

"මාත් හොයල බලන්නම් හොඳ ඩොක්ටර් කෙනෙක් ගැන. අපි වැඩේ ගොඩ දාගමු. උඹ වැඩිය හිතන්න එපා. ඕව ඔහොම තමයි. දැන් ඔය කෑම එක කාල ඉවර කරපංකො. දෙකට නේද මීටිං එක කිව්වෙ? අපි ටිකක් කලින් ඒ පැත්තට යං."

********************

ලිහිණි අතීතය ගැන පසුතැවෙන්නියක් නොවේ. නමුත් ඒ අතීතය ඇගේ වර්තමානය හා සම්බන්ධ කරන එක් සියුම් මුද්‍රිත හුයක් ඇත. ඒ දිනපතා 'දිවිසයුර' පුවත්පතයි. දන්නා කියන අවධියේ සිට දිවිසයුර පුවත්පතේ අඛණ්ඩ පාඨකයෙක් වූ ලිහිණිට දැන් එය සමඟ ඊට එහා ගිය අතීත මතක මුසු ආත්මීය බැඳීමක් ගොඩ නැගී තිබේ.

ඇගේ අතීතය ශාක්‍ය ය. ශාක්‍ය ඇගේ පළමු පෙම්වතා ය. නමුත් බොහෝ ප්‍රේම කතා මෙන් ඒ කතාවද කෙළවර වූයේ ඛේදවාචකයකිනි. කුලය, නම්බුව, මව්පිය විරෝධය, අනවබෝධය, සැකය, ඉරිසියාව, නැවත නැවතත් මව්පිය විරෝධය ආදී කාරණා බොහොමයක් අවසානයේ වසර ගණනක ඔවුන්ගේ සබඳතාව දෙපසට බෙදී, බිඳී අවසන් විය.

ශාක්‍යගෙන් වියෝ වී ගෙවුණු පළමු වසර ලිහිණි ගත කළේ ඉතා අපහසුවෙනි. ඇය විටෙක තම මව්පියන්ට ශාප කළාය. දින ගණනක් නොනවත්වා හඬා වැළපුණාය. කෙළවර ඒ කිසිවකින් ප්‍රයෝජනයක් නැති බව දැනී නිශ්ශබ්ද වූවාය.

එම වියෝගයෙන් පසුව එළඹුණු ඇගේ පළමු උපන් දිනය දා, කියැවීම සඳහා දිවිසයුර පුවත්පත අතට ගත් ලිහිණි විස්මයෙන් ඇළලී ගියාය. එහි උපන් දින සුබ පැතුම් තීරුව මත ඇගේ දෙනෙතට කැපී පෙනෙමින්, දිදුලමින් තිබූ එක් වෙසෙස් සුබ පැතුමක් විය. එය ශාක්‍ය ඇගේ උපන් දිනයට සුබ පතා පළ කර තිබූ පැතුම් පතකි. 'මගේ ලිහිණි කිරිල්ලියට ශාක්‍යගෙන් ඈත සිට උණුහුම් සුබ පැතුම්' යනුවෙන් ලියා තිබුණු එහි අලංකාර කවියක් සහ රොමෑන්තික සිත්තමක්ද ඇතුළත් විය. එය ඇස ගැටුණු පළමු මොහොතේ ලිහිණි මහා විස්මයෙන් එදෙසම බලා සිටියාය. එතෙක් කල් තමා වෙලාගෙන තිබූ උදාසීන, ඔතෑනි, නොරුස්සනා බව පහ කරමින් හිතට සහ ගතට උණුසුම් රුධිර ධාරා ගලා එන ආකාරය ඇයටම දැනිණ. එතැන් පටන් වසර හතක් දක්වා නොකඩවා ඒ සුබ පැතුම දිවිසයුර පුවත්පතේ පිටු අතර පළ විය.

ඒ අතරතුර ලිහිණි සෙමෙන් සෙමෙන් සිය සාමාන්‍ය ජීවිතයට අවතීර්ණ වූවාය. ඇය විශාක හා විවාහ වූයේ මව්පියන්ගෙන් පැමිණි යෝජනාවක ප්‍රතිපලයක් ලෙසිනි. ප්‍රියමනාප, කඩවසම් පෙනුමෙන් යුතු වූ විශාකට අකැමැති වීමට ඇයට හේතුවක් තිබුණේ නැත. විවාහ වී වසරකට පමණ පසු ඇය සිය කුළුඳුල් දරුවා ලොවට බිහි කළාය.

ශාක්‍ය විදෙස්ගත වූ බව පසු කලක ලිහිණි දැනගත්තේ සිය මිතුරියකගේ මාර්ගයෙනි. නමුත් එය ඈ තුළ කිසිදු විශේෂ හැඟීමක් ජනිත කළ ආරංචියක් නොවීය. දැන් ඇයට අලුත් ලෝකයක් තිබේ. එහි සතුට ඇත. සැමියාත්, දරුවාත් සමඟ ඈ එහි හොඳින් වාසය කළාය.

කෙසේ වුව හැම වසරකම ඇගේ උපන් දිනය දා ඇය දිවිසයුර පුවත්පත අතට ගන්නේ අමුතුම හැඟීමකිනි. එය සතුටක්ද, තිගැස්මක්ද, නමක් දිය නොහැකි ගුප්ත හැඟීමක්ද කියා ඇයටම නොතේරෙයි. විදෙස් ගත වූ පසුව වුව ශාක්‍යගේ සුබ පැතුම සුපුරුදු පරිදි නොකඩවා පුවත්පතේ පළ විය. ඈ ඒ පිළිබඳ ව සිය සමීපතම මිතුරියටවත් නොකීවාය. සිය අමුතු හැඟීම තමා තුළම පමණක් තබා ගනිමින් එය රහසේ වින්ඳාය. ඉන්පසු සුපුරුදු පරිදි සිය වැඩ කටයුතුවල නිරත වූවාය. අඩුම තරමින් ශාක්‍ය සිටින්නේ කුමන රටේදැයි කියාවත් ඇය දැන සිටියේ නැත. එය ඇයට අදාළ ආරංචියක් නොවීය.

මෙවර උපන් දිනය දාද ඈ දිවිසයුර පත්තරය සිය දෝතට ගත්තේ අර සුපුරුදු හැඟීමෙන් ම ය. නමුත් එදා පුවත්පතේ, අටවැනි වරටත් පළවන්නට නියමිත ව තිබූ ඒ සුබ පැතුම් පත පළ වී තිබුණේ නැත !

********************

"විශාක පුතා, දැන් මොකද තත්ත්වෙ? බෙහෙත්වලටවත් අඩුවක් තියෙනවද?"

"එහෙමටම කියල අඩුවකුත් නෑ අම්මෙ. අර විදියම තමයි. තව ටික දවසක් බලමුකො. කොහොමත් ඩොක්ටර් කිව්වෙත් එකපාර වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ කියල. කොච්චර අමාරුවෙන්ද ඔය ඩොක්ටර් ළඟටත් එක්කගෙන ගියෙ."

"ඒක නේන්නං. මේ පුතා, මං දෙයක් කියන්නද? ඇත්තම කිව්වොත් ඒක කියන්නම තමයි මං මේ කතා කළේ."

"ඔව් අම්මෙ, කියන්න."

"ඔයා අහල තියෙනවද ගලේගෙදර කපු මහත්තයා ගැන?"

"අපොයි ඔව්. මං අහල තියෙනව. ඔය ටීවී එකේ, පත්තරවල ඇඩ් එහෙමත් යන්නෙ."

"අන්න හරි. නරකද අපි ලිහිණිව ඒ කපු මහත්තයා ළඟට එක්කගෙන ගියොත්? හොඳ පූජාවක් එහෙම තියල, තෙල් ටිකක් මැතිරුවා නම් ඔය ගතිය ඇරිල යයි කියල මට හිතෙනවා."

"අනේ, මං ඕව විශ්වාස කරන්නෙ නෑ අම්මෙ. ලිහිණි වුණත් එහෙම ගමනක් යන්න එයි කියල මං හිතන්නෙ නෑ."

"දැන් එහෙම කියල බෑනෙ. බෙහෙත්වලටත් අඩුවක් නැත්නම් මේකත් කරල බලමු. ඔයාල ගැන කෙසේවෙතත් අර පොඩි කොල්ල ගැනවත් පොඩ්ඩක් හිතන්න."

"අනේ මන්ද අම්මෙ."

"අනේ මන්ද නෙවෙයි. ඔයා කොහොම හරි ලිහිණිව අපේ ගෙදර එක්කගෙන එන්නකො. ඉතුරු ටික මං බලාගන්නම්."

********************

පරණ පුරුද්දට දිවිසයුර මිල දී ගත්තත් ලිහිණි දැන් එය උනන්දුවෙන් කියවන්නේ නැත. නිකං උඩින් පල්ලෙන් පිටු පෙරළා බලනවා පමණ ය. ගෙදර කිසිවෙකු නොසිටි එදිනද ඇය දිවා ආහාරය සකසා හමාර කර සාලයට විත් සෝෆාවෙන් වාඩි වී ටීපෝව මත තිබූ දිවිසයුර අතට ගත්තේ කියවා බලන අදහසින්ම නොවේ. කම්මැලිකම යන්නට පිටු ටිකක් පෙරළා බලන්නට ය. හරියටම මැද පිටුවේ වූ උපන් දින සුබ පැතුම් තීරය අසල ඇගේ ඇස නතර විය.

දෙයියෝ සාක්කි, එය එහි ඇත !

'මගේ ලිහිණි කිරිල්ලියට ශාක්‍යගෙන් ඈත සිට උණුහුම් සුබ පැතුම්' යන වැකිය යටින් කවියක්ද, රොමෑන්තික සිත්තමක්ද ඈ සමඟ සිනාසෙමින් සිටියි. ශාක්‍යගේ සුබ පැතුම මුල් වරට දුටු දා මෙන් ලිහිණි විස්මයෙන් සජ්ජිතව ඒ දෙසම බලා සිටියාය. යළිත්, එතෙක් කල් තමා වෙලාගෙන තිබූ උදාසීන, ඔතෑනි, නොරුස්සනා බව පහ කරමින් හිතට සහ ගතට උණුසුම් රුධිර ධාරා ගලා එන ආකාරය ඇයටම දැනිණ. සුබ පැතුමට පහළින් පුවත්පතේ සංස්කාරකවරයා පළ කර ඇති කෙටි සටහන ඈ දුටුවේ ඉන් පසු ව ය.

"මේ සුබ පැතුම මෙයට ටික කලකට පෙර අපට ලැබුණකි. නමුත් අප අතින් සිදු වූ ප්‍රමාද දෝෂයක් හේතුවෙන් එය පළ වීම මෙතෙක් පමා විය. ඒ පිළිබඳ ව අපි ලිහිණි සහ ශාක්‍ය යන අප හිතවත් පාඨකයන් දෙදෙනාටම දැඩි කණගාටුව ප්‍රකාශ කර සිටිමු."

********************

"දැන් කොහොමද පුතා ලිහිණිට?"

"දැන් හොඳටම හොඳයි අම්මෙ. ඉස්සර වගේම ඉන්නවා."

"අනේ, කොච්චර දෙයක්ද? මාත් හරි හිතේ ගින්දරින් හිටියෙ. පොඩි එකාටත් දැන් සතුටු ඇති."

"අනේ ඔව් අම්මෙ. කොහොමත් ඩොක්ටර් කිව්වෙ වෙනසක් වෙන්න ටික දවසක් යයි කියලනෙ."

"ඒ වුණාට පුතා මං නම් හිතන්නෙ ඒක නෙවෙයි. අපේ ගලේගෙදර කපු මහත්තයා නිසයි වැඩේ හරි ගියෙ. කපු මහත්තයා වැඩක් කළොත් ඉතිං අර කියන්නෙ, ආයෙ මොනවද කිරි ගහට ඇන්නා වගේ තමයි. බොරු නම් ඔතෙන්ට යන ඕනෙ කෙනෙකුගෙන් අහල බලන්නකො."

"අම්මට හිතෙන්නෙ එහෙමද?"

"නැතුව ඉතිං. මට ඒක හොඳටම විශ්වාසයි. දැන් ඉතිං තුන්දෙනා එක්කම ළඟදි දවසක මෙහෙ එන්නකො. අපි හොඳ පූජා වට්ටියකුත් අරන් කපු මහත්තයා බලන්න යමු. අර භාරෙ ඔප්පු කරන්නත් එපැයි."

"හොඳයි අම්මෙ, අපි එන්නං !"



Nissanka Rajapaksa

unread,
Jul 25, 2024, 8:16:03 PM7/25/24
to INDRAKA group
16
මීයා

Translation of the short story ‘The Rat’ by Ashokamitran translated from tamil to English by Vasantha Surya

From the book ‘Short fiction from South India’ (2008)- Oxford University Press

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 


තම නිවසේ වෙසෙන ගැහැනුන් රාත්‍රී දෙකක් තිස්සේ නොකඩවා එක ලෙසම කටයුතු කිරීම ගැන ගනේසන් ට දැනුණේ කේන්තියකි. එදිනත් රාත්‍රී ආහාරයෙන් පසු කිසිම කෑම කැබැල්ලක් ඉතුරු නොවන සේ ඔවුන් මුළුතැන්ගෙය පිරිසිදු කර නින්දට ගොස් තිබිණි.

මොවුන් ට මේ ගැන අවබෝධයක් නොමැති වීමට ඉඩ නැත. තම සොයුරියට වයස පනහට වැඩි ය. බිරිඳ ට හතළිහකට ආසන්න ය. දියණියට ළඟදීම දහතුන් විය එළඹෙනු ඇත. එහෙත් කුස්සියේ එකම තෝසේ කැබැල්ලක්, අප්පලමක් හෝ පොල් ඉරුවක් දක්නට නොවිණි.

ඉතින් මීයාට උගුල් අටවන්නේ කුමකින් ද?

“උඹලා බම්බු ගහගනිල්ලා!” තමන්ටම මුමුණා ගත් ගනේසන්, නිදන්නට ගියේය. 

රෙදි වනන්නට යොදාගැනෙන උණ බම්බුව යන්තමින් සෙලවෙනු ඔහුට ඇසුණේ ඔහු නින්දට ගොස් පැය බාගයක්වත් ගතවන්නට පෙර ය. මීයා එහි යට අත ඔස්සේ ඇවිදිමින් සිටියේය. තවත් විනාඩි දෙකක් යද්දී උණ බම්බුව තවත් සෙලවෙනු ඇසුනි. ඒ වෙද්දි මීයා එහි මතුපිටට නැග තිබුණි. ඉනික්බිති ඇසුණේ තඹ පලංගනාවක් බිත්තියේ ගැටෙන හඬකි. මීයා සොල්දරයට නැග තිබුණි. සර සර හඬින් කියවුණේ ඌ පරණ පත්තර ගොඩක් මතින් ඇවිද යන බවයි. 

“දඩස්!”

මීයා සොල්දරයේ සිට ලී අල්මාරිය මතට පනිද්දී ඒ මත ඇති පැරණි ටින් බෙලෙක්ක පෙරලී යන හඬක් ඇසේ. ඉන්පසු එතැනින් ඌ ඇණයකින් බිත්තියේ එල්ලා ඇති කුඩා රාක්කය මතට පනී. ඉනික්බිති පැතිරෙන්නේ මද නිහැඬියාවකි. එහෙත් ඒ සන්සුන් බව බිඳිමින් කුමක් හෝ මහා හඬින් පෙරළෙනු ඇසේ. ගනේසන් සහ බිරිඳ අවදි වී, විදුලි බුබුල දල්වා වටපිට බලද්දී දුටුවේ මීයා විසින් තෙල් බඳුනේ පියන පෙරළා ඇති බවයි. 

ගනේසන් දත් මිටි කමින් සිය බිරිඳට රවාගෙන සිටිද්දී ඈ නිදිමතින්ම තෙල් බඳුන කූඩයකින් වසමින් සිටියාය. 

“මම හැමදාම ඔහෙට කියනවා මොනවා හරි කෑම ඉතුරු කරන්න කියලා මී උගුලට තියන්න. එහෙම කියලා තියෙද්දීත් ඔහේ කිසිම දෙයක් ඉතුරු නොකර කුස්සිය අස් කරලා දානවා!”

“මොනවා තියන්නද? මීයාට කියලා රසම් හැන්දක් තියන්නද මට කියන්නේ? එහෙම නැත්තම් උප්පුමා ගුලියක් කොක්කක අමුනන්න ද?”

මෙය අසා ගනේසන් මහත් සේ කෝපයට පත් වූයේය. “මට ඔහොම කතාකරන්නේ උඹ කවුරු කියලා ද හිතාගෙන ද?” ඔහු ගුගුලේ ය. 

“මම කවුරුවත් කියලා හිතාගෙන නැහැ. මේ ගෙදර තෝසේ හරි වඩේ හරි හදනවානම් මීයාට කියලා මොනවා හරි ඉතුරු කරන්න තිබුණා. අපි ඉතින් දවස ගානේ තෝසේයි වඩේයි නේ කන්නේ, නැද්ද හොඳයි?”

“හරි එහෙනම් හැමදාම මීයා ආවදෙන්, ඇවිත් හැම දේම හලලා නාස්ති කළදෙන්!”

මීට ගනේසන් ගේ බිරිඳ පිළිතුරු දුන්නේ නැත. ඒ වෙනුවට ඈ එළවලු කූඩයේ පතුලේ තිබී වියලුණු ළූනු ගෙඩියක් ගෙන එය ඔහු වෙත පෑවාය. “කැමති නම් මේක පාවිච්චි කරලා බලන්න.”

“මේ වගේ ළූනු ගෙඩියක් කන්න මීයෝ ආවේ කොයි ලෝකේ ද?” ඔහු එය ඇය වෙත දමා ගැසූ විට ඇයට යම් වේදනාවක් දැනෙන්නට ඇත. නමුත් ඈ කිසිත් නොකියා නැවතත් ඇඳට ගියාය. 

ගනේසන්ට නැවත නින්දට යා නොහැකි විය. පුද්ගලයන් දස දෙනෙකුට එකවර කෑමට හෝ නින්දට පවා ඉඩකඩ මදි වූ ඒ කුඩා ඉඩකඩ තුළ හැම රාත්‍රියකම මීයන් හතර පස් දෙනෙක් මහත් නිදහසින් කෙළි සෙල්ලම් කළහ. උන් රෙදි පෙරෙදි හපා විනාශ කර, හට්ටි මුට්ටි පෙරළා, තක්කාලි ගෙඩි කා දමා ඉවුම් පිහුම් සඳහා වූ තෙල් බීවෝය. මීට අමතරව උන් නොවරදවාම දෙවියන් වෙනුවෙන් දැල්වූ පහනේ පහන් තිරය පවා ඇදගෙන යන්නට අමතක කළේ නැත. 

ගනේසන් කමිසයක් පැළඳගෙන ශත විසිපහක් සාක්කුවෙහි දමා ගත්තේය. නිවසින් පිටත් වූ ඔහු තමන්ගේ පසුපසින් ඉදිරිපස දොර අගුලු දැමුවේය. 

මේ වෙද්දී මඟ දෙපස ආපන ශාලා වසා දමා තිබිණි. විවරව තිබුණේ තේ කඩ සහ බුලත් විට විකිණූ පෙට්ටි කඩ පමණි. එක වඩයක් සොයාගනු හැකි නම්, අඩුම තරමේ වඩයකින් අඩක් වත්..ඒත් කොතැනක වත් වඩයක් ඉතිරි වී තිබුණේ නැත. පාන්, විස්කෝතු, කෙසෙල් වැනි දේවල් ආපන ශාලා වල ඉතිරි වී තිබුණත් මේ හැම එකක්ම මීට පෙර මීයා වෙනුවෙන් අත්හදා බලා අසාර්ථක වී තිබිණි. මීයා ප්‍රිය කළේ ගැඹුරු තෙලේ බදින ලද වඩේ, පකෝඩා හෝ පපඩම් වැනි දේ පමණි. එහෙත් තෙල් වල මිළත් පරිප්පුවල මිළත් බලද්දී මේවා නිවසේදී පිළියෙළ කළ හැක්කේ කවරෙකුට ද? ඔවුන්ගේ නිවසේ හාල් කොටා සකසන උප්පුමා, රුලං උප්පුමා හෝ පොංගල් මාරුවෙන් මාරුවට පිසිනු ලබන්නේ වෙන කෑම වර්ග සඳහා අවශ්‍ය ද්‍රව්‍ය නිවසේ නොතිබුණු නිසා යි. ‘උප්පුමා’ සහ ‘පොංගල්’ යන වචන පවා ගනේසන් ට ඒ වෙද්දී පිළිකුල් ව තිබුණු අතර මීයාටද එසේ වන්නට ඇතැයි ඔහු අනුමාන කළේ ය. 

“මීයාගේත් වෙලාව තමයි, අද උදේම ඌ අසුබ නිමිත්තක් දකින්න ඇත්තේ’ සිතූ ගනේසන් ආපසු හැරී නිවස බලා පිටත් වුණේය. 

නගරයේ චතුරශ්‍රය දෙසින් මහජන රැස්වීමක හඬක් ඈතින් ඇසුණි. එහි සෙනඟ තිහ හතළිහකට වඩා රැස්ව නොසිටියත් කවුදෝ තම අත පය විසිකරමින් කතාවක් පවත්වමින් සිටියේය. ටික වෙලාවක් මීට සවන් දෙන්නට සිතූ ගනේසන් රැස් ව සිටි සෙනඟ ට එකතු වූවේය. 

සභාව අමතන්නා නික්සන් ට තදින් දොස් පවරමින් සිටියේය. ඉනික්බිති ඔහු චීනයටත්, බ්‍රිතාන්‍යටත් රුසියාවටත්, පකිස්තානයටත් වග පල කියා ඉන්දිරා ගාන්ධිටත් තමිල්නාඩුවේ පාලකයන්ටත් සිය අවසාන නිවේදනය නිකුත් කළේය. මේ තර්ජන වලින් සීයෙන් එකක් වත් ප්‍රදේශයේ මී සමාජ පන්තියට අසන්නට ලැබෙන්නේ නම් උන් බෙන්ගාල බොක්කේ පිළිසරණ සොයා යනු නොඅනුමානය. මීයන්ට දෙමල භාෂාව නොවැටහුණේ කිමද?

නමුත් මෙහි මේ කථිකයාට අමතරව තවත් දෙයක් ගනේසන් ගේ අවධානය පැහැර ගත්තේය. රැස්ව සිටි පිරිසෙන් මඳක් ඔබ්බෙහි වූ අත් කරත්තයක් වටා කීප දෙනෙකු වටවී සිටිනු ඔහුට පෙනුණි. මේ කරත්තයේ ලිපක් තිබුණු අතර ඒ මත බුබුළු දමමින් තිබුණු තෙල් තාච්චියෙන් බානු ලබන කෑම වර්ග තත්පර කිහිපයක් ඇතුළත අලෙවි වෙමින් තිබුණි. ගනේසන් අත් කරත්තය වෙත කිට්ටු වී එය අසලින් සිට ගත්තේය. පාන් පිටි දවටන ලද මිරිස් කරල් විස්සක් පමණ තෙලේ බැදෙමින් තිබෙනු පෙනුණේ සයුරේ පාවෙන සබ්මැරීන මෙනි. අසල සිටි මිනිසෙක් “වඩේ හදපන්කෝ අයියා, වඩේ!” කීවත් ඊළඟ වතාවේත් තෙල් තාච්චියට දමනු ලැබුවේ මිරිස් කරල් ම පමණි. “වඩේ හදපන්කෝ අයියා!” ගනේසන් ද කීය. මිරිස් බජ්ජි සඳහා ඉහළ ඉල්ලුමක් ඇති බව පෙනුණි. මෝටර් රථයකින් බට පුද්ගලයෙක් “බජ්ජි අටක් ඔතලා තියනවා,” කියා අඳුරු ඉසව්වකට ගියේ මුත්‍රා කිරීමටයි.

“මේ වතාවේ වඩේ හදපන් අයියා, හරිද?” ගනේසන් නැවතත් කීවේය. මිරිස් කරල් තෙලෙන් පිටට ගත් සැණින් ඒවා දෙකක්, හතරක් හෝ දහයක් ලෙස වහා වහා පාර්සල් කෙරුණි. 

“සර් වඩේ ඉල්ලුවද? කීයක් ඕන ද?”

එක වඩයක් පමණක් ඉලීමට ගනේසන් ට මැළිකමක් දැනුණි. “දෙකක් ඇති” ඔහු කීවේය. 

“එහෙනම් ඊළඟ වටේට වඩේ බදින්නම්” කී වෙළෙන්දා යලිත් වතාවක් තෙලට දැම්මේ මිරිස් කරල්ම ය. වරුවක් තිස්සේ වඩේ ඉල්ලමින් සිටි අනෙත් පුද්ගලයා උස් හඬින් තම විරෝධතාවය පළ කරන්නට විය.

“මේක බැදිලා ඉවර වෙන්න ලඟයි සාර්.. තව විනාඩියයි! අර බලන්න අර මහත්තයාත් බලාගෙන ඉන්නේ වඩේ දෙනකම්.”

ගනේසන් ට අපහසුතාවයක් දැනුණි. කෑම විකුණන අත් කරත්තය වටා සෑහෙන්න තරමක පිරිසක් රැස් වී සිටියහ. ඒ හැම කෙනෙක්ම තමන්ගේ ඇනවුම ලැබෙනතුරු කෑමට සුදානම් ව බලා සිටියහ. තමන් ද තමා ඇනවුම් කළ වඩේ ආහාරයට ගැනීමට නොඉවසිල්ලෙන් සිටින බවක් ඔවුන් සිතනවා ඇත. ඒ ඇනවුම මී උගුලකට බව ඔවුන් දන්නවා නම්! ඔහුට මහත් කනස්සල්ලක් දැනුණි. 

බැදී අවසන් වූ පසු ඔහුට ඔහුගේ ඇනවුම මුලින්ම ලැබුණි. ඒවා ‘මාලයි මරසු’ නම් සවස පුවත්පතේ පිටුවකින් ඔතා තිබිණි. ඉන් කාන්දු වූ උණුසුම් තෙල් පත්තර පිටුව පෙඟී ඔහුගේ අත්ලේ ගෑවුණි. මේ වඩේ දෙකෙන් විහිදුණේ ප්‍රනීත සුවඳකි.

ගනේසන් තම නිවාස බලා නික්මුණි. වඩේ පාර්සලයේ උණුසුම දරාගනු නොහැකිව ඔහු එය අත්ලෙන් අත්ලට මාරු කරමින් ඇවිද ගියේය. මින් ඔහුගේ දෙ අත්ලේත් පත්තර පිටුවේත් බෙහෙවින්ම තෙල් තැවරිණි. 

මේ වඩේ මීයෙකු වෙනුවෙන් සැකසුණු බවක් ඒ වෙළෙන්දා දැන සිටියා නම්! මේවා තම නිවසේදී පිසිනු ලැබී නම් ගනේසන් ට මේ වරදකාරී හැඟීම නොදැනෙනු ඇත. එහෙත් දැන් ඔහුට දැනුනේ මහත් අපහසුතාවයකි.

තම කමිසයේ තෙල් පල්ලම් නොගෑවී එහි සාක්කුවෙන් නිවසේ යතුර පිටතට ගැනීම කළ නොහැක්කක් විය. ඔහු වඩේ පාර්සලය බිමින් තබා තම තෙල් තැවරුණු දෑත දෙපයේත් විලුඹේත් පිසදා ගත්තේය. නිවස තුළ ට ගිය පසු ඔහු එක් වඩයක් මී උගුලේ කොක්කෙහි ඇමිණූ අතර දෙවැන්න කා දැමුවේය. 

වයස පනහට වැඩි පුද්ගලයෙක් රාත්‍රී දහයට පමණ වඩයක් කෑ විට එහි යම් අයහපත් ප්‍රතිපලයක් ඇති වනු නියත ය. මේ තමන්ට ලැබෙන්නේ එක්තරා ආකාරයක දඬුවමක් බව කල්පනා කළ ගනේසන් ඒ මේ අත පෙරළෙමින් වැතිර හිඳ අන්තිමේදී නින්දට වැටුණේය. 

උදෑසන වෙද්දී ගනේසන්ගේ උදරය මහත් සේ පීඩා දෙමින් තිබිණි. එමෙන්ම රාත්‍රියේදී මීයා මී උගුලට හසු වී මහත් කලබලයක් කරමින් පසු වූ බව ඔහු දැනගත්තේ බිරිඳ කියූ විටයි. 

දැන් ඉතින් මීයා ව කොතැනකට හෝ ගොස් අත ඇරිය යුතු ය. ඔහු මී උගුල අතින් ගෙන නිවසින් පිටත් විය. මීයා උගුලේ වූ කුඩා සිදුරකින් තම හොම්බ පිටතට දැම්මේ ය. ඒ හොම්බේ තරමින් නම් ඌ විශාල මීයෙක්ද, කුඩා එකෙක් ද යන වග අනුමාන කිරීම දුෂ්කර විය. නමුත් ඌට පිටි බෙලෙක්කයක් පෙරළන්නත්, තෙල් බඳුනේ පියන ගලවන්නත්, කිලිටි රෙදිත් එළවලුත් කා දමන්නත් හැකි නම් උගේ ප්‍රමාණය දැනගැනීමෙන් ඇති ප්‍රයෝජනය කුමක් ද?

මෙවර නම් මීයා ව කාණුවට අත් නොහරින්නට කල්පනා කළ ගනේසන්, මී උගුලත් ගෙන චතුරශ්‍රය වෙත ගියේ ය. මේ මීයාට නම් ඔවුන්ගේ නිවස නැවත සොයාගැනීමට අඩුම තරමේ සතියක්වත් ගතවනු ඇත. ඒ අඩුපාඩුව ලොකු ගැටළුවක් නොවන්නේ තම නිවසට පැමිණීමට තවත් ඕනෑතරම් මීයන් සිටි බැවිනි. 

තමන් පසුපස එන කොලු කුරුට්ටන් මඳක් ඉවත්වන්නේ නම් මැනවි යැයි ගනේසන් ට සිතුණි. නමුත් ඔවුන් බලා සිටියේ තමන් මී උගුල විවර කරන තුරුයි. ඔහු එය බිම තබා එහි දොර විවර කළේ ය. එළියට දිව ආ මීයා මධ්‍යම තරමේ එකෙක් විය. ඌට ඉඩකඩ සහිත එළිමහන නුහුරු බැවින් කලබලයට පත් ව ඒ මේ අත දුවන්නට විය. අසල වූ කොල්ලෙක් ඌ වෙත ගලක් ගැසී ය. 

“එපා, කොල්ලෝ එපා!” ගනේසන් කෑ ගැසීය. 

එවෙලේම කොහේදෝ සිට පියඹා ආ කපුටෙක් මීයාට එක වරක් කොටා නැවතත් පියාඹා ගියේ ය. උඩුකුරුව වැටී ගැහෙමින් උන් මීයා ටික වෙලාවකින් නැවත නැගිට කොර ගසමින් වඩාත් වේගයෙන් දුවන්නට විය. කපුටා වටයක් පියාසර කර වේගයෙන් පහතට පැමිණෙන්නට විය. මීයාට සැඟවෙන්නට තැනක් තිබුණේ නැත. කපුටා ඌ ව එක්වරම ඩැහැගෙන ඈතට පියාඹා ගියේය. ගනේසන්ට වේදනාවක් දැනුණි. 

එහෙත් ඔහුට වඩාත්ම දුකක් දැනුණේ වෙනත් කරුණක් නිසා යි. නැවත නිවස බලා යාමට පෙර ඔහු මී උගුල තුළ බැලුවේ ය. ඔහු පෙර දිනයේදී එහි රැඳවූ වඩය එලෙසින්ම ඒ තුළ විය. 

(සිසිල සඟරාව- පෙබරවාරි 2024 කලාපය)

Nissanka Rajapaksa

unread,
Jul 26, 2024, 7:50:12 PM7/26/24
to INDRAKA group
17
උගුලට හසුවූ කොටියා

පරිවර්තනය හෙල්මලී ගුණතිලක

 Translation of the Indian Folk Tale, The Tiger, the Brahman, and the Jackal 

එකමත් එක රටක ජීවත් වුණු කොටියෙක් දවසක් උගුලකට අහුවුණා. මේ කූඩුවේ යකඩ කූරු වලින් පිටට එන්න කොයිතරම් උත්සාහ කළත් කොටියාට ඒක කරගන්න බැරිවුණා. කොටියා කේන්තියෙනුත් දුකෙනුත් කූඩුවේ ඒ පැත්ත මේ පැත්ත පෙරළෙමින්, යකඩ කූරු හපමින් දඟලන්න වුණා. 

මේ වෙලාවේ අහම්බෙන් වගේ දුප්පත් ගැමියෙක් මෙතැනින් යන්න ආවා. "අනේ..පින් අයිති වෙයි, මාව මේ කූඩුවෙන් එළියට ගන්න!" ගැමියා ව දැකලා කොටියා විලාප දුන්නා. 

"එහෙම නම් කරන්න බැහැ මිත්‍රයා!" ගැමියා හෙමින් සැරේ කිව්වා. "එහෙම කළොත් උඹ මාව කයි!"

"එහෙම වෙන්නේ නැහැ කීයටවත්" කොටියා හතර අතේ දිවුරන්න ගත්තා. "ඇත්තටම ඒකෙ අනිත් පැත්තයි වෙන්නේ. මාව බේරුවොත් මම ඔබතුමාට හැමදාම ණයගැතියි! මම වහලෙක් වෙලා ඔබට සේවය කරන්නම්!"

ඉතින් මේ විදිහට කොටියා අඬමින්, වැළපෙමින්, සුසුම් හෙළමින්, දිවුරන හැටි දකිද්දී කරුණාවන්ත ගැමියාගේ පපුව උණුවුණු නිසා අන්තිමට කූඩුවේ දොර අරින්න ඔහු කැමති වුණා. කූඩුව ඇරුණු මොහොතේම කොටියා පිටතට පැනලා ගැමියා ව අල්ලාගත්තා. 

"උඹ මහා මෝඩයෙක්! දවස් ගාණක් තිස්සේ කූඩුවේ හිරවෙලා ඉඳලා මට දැන් හොඳටම බඩගිනියි. උඹව නොකා ඉන්න මට කිසිම හේතුවක් නැහැ!" කොටියා කෑගැහුවා. 

ගැමියා තමන්ගේ ජීවිතය බේරන්න කියලා කොටියාට බැගෑපත් වුණා. ඒ ගැන කල්පනා කළ කොටියා මෙහෙම යෝජනාවක් කළා. ඌ ගැමියාට යන්න දුන්නාම මඟදී මුලින්ම මුණගැහෙන තුන්දෙනා කොටියාගේ තීරණය ගැන දෙන තීන්දුව අනුව ගැමියාට අභය දානය දෙන්න සලකලා බලන්න එකඟ වුණා. 

ගැමියා මුලින්ම මේ විස්තරය කීවේ ළඟ තිබුණු රූස්ස ගහකට. 
"මොකක්ද උඹ ඔය කරන පැමිණිල්ල?" ගහ ගැමියාගෙන් ඇහුවේ කිසිම අනුකම්පාවක් නැතිව. "මම මෙතැනින් යන හැම කෙනෙකුටම හෙවනක් දෙනවා, ඒත් මට ආපිට ලැබෙන්නේ මොනවාද? මිනිස්සු මගේ අතු කඩලා හරකුන්ට කන්න දෙනවා… ඔතැන වැළපෙන්නේ නැතිව හරි පිරිමියෙක් වෙයන්!"

මේක අහලා ගැමියාට මහා දුකක් දැනුණා. තව ටිකක් ඉදිරියට යද්දී එයාට සෙක්කුවකට බැඳලා උන්නු එළදෙනක් මුණගැහුණා. උගෙනුත් ගැමියාට හොඳ පිළිතුරක් ලැබුණේ නැහැ. 

"කළගුණ සැලකීමක් බලාපොරොත්තු වෙනවා නම් උඹ මහා මෝඩයෙක්! දැන් බලපන් මගේ දිහා… මගෙන් කිරි ලැබෙනකම් උන් මට රස කෑම දුන්නා… දැන් මට කිරි නැති නිසා මේ සෙක්කුවට බැඳලා මට කන්න දෙන්නේ පිදුරු!" ඌ කීවා.

තවත් දුක හිතුණු ගැමියා තමන් ඇවිදගෙන යන පාරෙනුත් මේ ගැන අහලා බලන්න කල්පනා කළා. 

"මහත්තයෝ.. ආපිට උපකාර බලාපොරොත්තු වෙනවා නම් ඔබ මහා මෝඩයි. දැන් බලන්න මම... බාල මහලු, දුප්පත් පෝසත් හැමෝටම මගෙන් ප්‍රයෝජනයි, ඒත් ඒගොල්ලෝ මාව පාගලා දාලා යන එක විතරයි කරන්නේ. ඒ අයගේ දුම් පයිප්ප වල අළුයි ධාන්‍ය වල පොතුයි විතරයි මට ආපිට ලැබෙන්නේ" පාර කීවා. 

මේක අහලා ගැමියා බොහොම දුකෙන් ආපිට හැරිලා එද්දී නරියෙක් මුණගැහුනා.

"මොකද ගමරාළ මේ දුකෙන් වගේ?" නරියා ගැමියාගෙන් ඇහුවා. "ඔහේ නිකම් දියෙන් ගොඩ දැම්ම මාලුවෙක් වගේ නේ"

ඉතින් ගැමියා සම්පූර්ණ විස්තරයම නරියාට කිව්වා.
"මේක හරිම අවුල්සහගතයි නේ." කතාව අහගෙන උන්නු නරියා කීවා. "මට හැමදෙයක්ම පැටලුණා, තරහා නැතිව ආයෙත් ඒ සිද්ද වුණු දේ කියනවාද?"

ගැමියා ආයෙත් වතාවක් මුළු කතාවම නරියාට කීවා. ඒත් නරියා උන්නේ වෙන කල්පනාවක වගේ. ඌට කිසි දෙයක් තේරුම්ගන්න බැරි වුණ ගාණයි. 

"හරි පුදුමයි" නරියා දුකෙන් කීවා. "මට ඔය විස්තරය ඔලුවේ රඳන්නේම නැහැනේ. එක කණකින් අහන දේ අනෙත් කණෙන් පිටවෙනවා වගේ. අපි ඔය සිද්ධිය වුණු තැනට යමු. එතකොට මට ඒ ගැන හරි තීන්දුවක් දෙන්න පුළුවන් වේවි." 

ඉතින් නරියාත් ගැමියාත් කළින් කොටියා උගුලට අහුවුණු කූඩුව ළඟට ආවා. කොටියා ගැමියා ආපිට එනතුරු කූඩුව ළඟ වාඩිවෙලා තමන්ගේ නියත් දතුත් උල් කරමින් හිටියා. 

"උඹ ආපිට එන්න සෑහෙන්න වෙලාව ගත්තා!" නපුරු කොටියා ගොරවන්න වුණා. "හරි, දැන් අපේ කෑම පටන්ගමු"

"අපේ කෑම කියලා කියන ලස්සන!" අසරණ ගැමියා බයෙන් වෙව්ලමින් හිතුවා "මෙයාගේ කතාවේ පුදුම සංවේදී කමක් තියෙන්නේ"

"අනේ ස්වාමීනි, මට විනාඩි පහක් දෙන්න!" ගැමියා බැගෑපත් වුණා. "මේ නරියා ටිකක් මෝඩ පහේ කෙනෙක්. මෙතැන සිද්ධ වුණු දේ ඌට කියලා දෙන්න මට ටිකක් වෙලාව දෙන්න"

මේ ඉල්ලීමට කොටියාගේ අනුමැතිය ලැබුණා. ගැමියා ආයෙත් වතාවක් පුළුවන් තරම් වෙලාව අරගෙන අකුරක් නෑර මුල ඉඳන්ම කතාව කියන්න ගත්තා. 

ඒ කතාව අහගෙන උන්නු නරියා "අනේ මගේ අසරණ ඔලුව!" කියා දෑත් පටලමින් කෑ ගැසුවා. "කෝ බලන්න, කොහොමද මේක පටන් ගත්තේ..? ඔහේ කූඩුවේ හිටියා, එතැනින් කොටියා ඇවිදගෙන ගියා..." 

"පිස්සුද?" කොටියා මැදට පැන්නා. "උඹ නම් මහා මෝඩයෙක්! මමයි කූඩුවේ උන්නේ!"

"ආ ඔව් ඔව්" නරියා බයෙන් වෙව්ලන බවක් පෙන්නමින් කීවා "ඔව්! කූඩුවේ උන්නේ මම... නෑ මම නෙමෙයි… අයියෝ! මට සිහි කල්පනාව නැතිවේගෙන යනවාද? ඉන්නකෝ බලන්න... කොටියා හිටියේ මිනිහාගේ ඇතුළේ, එතකොට එතැනින් කූඩුව ඇවිදගෙන ගියා… නෑ එහෙම වෙන්නත් බැහැ! අනේ මං ගැන වද වෙන්න එපා ඔබතුමා කෑම කන්න පටන් ගන්න, මට නම් කවදාවත් මේක තේරුම් ගන්න බැරිවෙයි!"

"උඹ මේක තේරුම් ගන්නවාමයි!" නරියාගේ මෝඩකමෙන් කුපිත වුණු කොටියා කෑගැහුවා. "මම මේක කොහොමහරි උඹට තේරුම් කරනවා! මේ බලපන්... මමයි කොටියා!"

"එහෙමයි ස්වාමීනි!"

"අර ඉන්නේ මිනිහා..."

"එහෙමයි ස්වාමීනි!" 

"අර තියෙන්නේ කූඩුව..."

 "එහෙමයි ස්වාමීනි!" 

"මම හිටියේ කූඩුව ඇතුළේ... තේරෙනවාද උඹට?"

"ඔව්… නෑ… අනේ මට සමාවෙන්න ස්වාමීනි"

"ඒ පාර මොකක්ද?" කොටියා නොඉවසිල්ලෙන් කෑගැහුවා 

"අනේ ස්වාමීනි, ඔබතුමා කොහොමද කූඩුව ඇතුළට ගියේ?"

"ඇයි? සාමාන්‍ය විදිහට තමයි ගියේ!"

"අනේ… මගේ ඔලුවත් කැරකෙනවා! මෙහෙම ඇහුවාට තරහා ගන්න එපා ස්වාමීනි, ඒත් සාමාන්‍ය විදිහ කියන්නේ මොකක්ද?"

මේ කතාව අහලා කොටියාගේ ඉවසීමේ සීමාව පැන්නා. ඌ වහාම කූඩුව ඇතුලට පැනලා "මෙන්න මෙහෙමයි මම ඇතුළට ගියේ, දැන්වත් උඹට තේරුණාද?" කියලා කෑගැහුවා.

නරියා බොහොම දක්ෂ විදිහට වහා වහා කූඩුවේ දොර වහලා අගුලු දැම්මා.

"දැන් නම් හොඳටම තේරුණා!” ඉන්පස්සේ නරියා කපටි හිනාවකින් කීවා. “තරහා අවසරයි, මම නම් හිතන්නේ අපි කරන්න ඕන හොඳම දේ තමයි හැම දෙයක්ම කළින් විදිහටම තියෙන්න අරින එක!"

(සිසිල මාසික ඊ- සඟරාව- 2024 ජනවාරි කලාපය)


Nissanka Rajapaksa

unread,
Jul 27, 2024, 9:38:33 PM7/27/24
to INDRAKA group
18
නිර්විප්ලවවාදියෝ

කොරියානු ලේඛක යු වොල් චොං නියොං ගේ කෙටිකතාවක්

පරිවර්තනය රත්නායක වනසිංහ


විප්ලවය! ප්‍රතිවිප්ලවය! නිර්විප්ලවය!

විප්ලවවාදීහු ප්‍රතිවිප්ලවවාදීන් විසින් ඝාතනය කරනු ලැබෙත්! ප්‍රතිවිප්ලවවාදීහු විප්ලවවාදීන් විසින් ඝාතනය කරනු ලැබෙත්!

නිර්විප්ලවවාදීහු  ඇතැම් විට විප්ලවවාදීන් ලෙස හිතා ප්‍රතිවිප්ලවවාදීන් විසින් ඝාතනය කරනු ලැබෙත්!

ඇතැම් විට ඔවුන් ප්‍රතිවිප්ලවවාදීන් විසින් ඝාතනය කරනු ලැබෙත්. ඇතැම් විට ඔවුන් ප්‍රතිවිප්ලවවාදීන් ලෙස ගෙන විප්ලවවාදීන් විසින් ඝාතනය කරනු ලැබේ. ඇතැම් විප්ලවවාදීන් විසින් හෝ ප්‍රතිවිප්ලවවාදීන් යන දෙගොල්ලම විසින් හෝ හේතුවක් නැතිව ඝාතනය කරනු ලැබේ.

ලූ ෂුන් (1881-1938)

පෙරදිග වැසියන්ට සාප වේවා! අපරදිග වැසියන්ට සාප වේවා! මගේ මවුබිම කීතු කීතු කළ මිනිසුන්ට සාප වේවා!

ඔවුහු  ‍දොරවල්වලට තඩිබෑහ. බිත්තිවලට පොලු බෑහ.

“ඔක්කොම බැහැපියව් එළියට! ඔක්කොම පලයව් පිට්ටනියට!”

අපි හැමෝම භීතියෙන් තැති ගනිමින් නැඟී සිටියෙමු. ඒ තෙතබරිත හිමිදිරියේ අපි අපේ පොරෝනයන් තුළින් නැඟී සිටියෙමු. මගේ පියා හා මගේ මවද මගේ සහෝදර සහෝදරියන් යන හැමෝම නැඟී සිටියෙමු.

‘බැහැපියව් එළියට! පලයව් පිට්ටනියට!’

‘ඔක්සන්ට මොකද කරන්නෙ?’ මගේ මව පියාගෙන් ඇසුවාය. උං දන්නෑ  මෙහෙ ඉන්නවා කියලා එයා හැංගෙන්ඩ  ඕනෑ!’

‘උං කොහොම හරි එයාව හොයා ගනීවි!’ මගේ පියා කීවේය.

‘ඇයි අපි එයාව පිටිපස්ස පැත්තේ හංගන්නේ නැත්තේ? එතකොට එයාව උන්ට පේන එකක් නෑ!’

‘උන් දකියි! උන් දකියි! උන් කඩාගෙන බිඳගෙන ඇවිත් හොයා ගනියි! ඊයේ රෑ උන් මේ පැත්තේ ගෙවල් ‍ෙදාළහකට කඩා පැන්නා! ඒ කියන්නේ පාන්දර දෙකට තුනට විතර උන් ‍ෙදාරවල් කඩාගෙන සපත්තුත් පිටින් ගෙවල් ඇතුළට කඩා පැනලා පිරිමින්ව ඇදගෙන ගියා.’

‘මොනවා! සපත්තු දාගෙන!’ අදහාගත නොහැකි නැහැදිච්චකම ගැන අසා මගේ මව මඳ වේලාවක් තුෂ්ණිම්භූතව සිටියාය. ‘අන්තිම දුප්පත් පරණ කෝට්කාරයෙක්වත් අන්තිම මෝඩයෙක්වත් අනුන්ගේ ගෙදරකට සපත්තු දාගෙන ඇතුල්වෙන්ඩ හිතන්නෙවත් නෑ!’ ඒත් මං නං කියන්නේ අපිට එයාව පිටිපස්සේ පරිස්සමට හංගන්ඩ පුළුවන් වෙයි කියලා.’

‘ඒක හරිම භයානකයි!’

‘ඒ වුණාට!’

තර්ක කිරීමට කාලයක් නොවීය.

‘බැහැපියව් එළියට ඝෝෂා කිරීමත්, තඩිබෑමත් දිගටම සිදුවිය. ඔවුහු හැම පිරිමියකුම හැම ගැහැනියක්ම හැම ළමයකුම වටකර ගත්හ.

ඉන්පසු මම මගේ මවුපියන්ද සහෝදර සහෝදරියන්ද සමඟ පිට්ටනිය කරා යන්නට වීමි.

මා ගෙදර ආවේ මසකට පමණ පෙරය. මම මගේ ශිෂ්‍යත්වය අවසන් කර උෟන සංවර්ධිත මගේ මාතෘ භූමියට බටහිර ඥානය රැගෙන පැමිණ ඇත්තෙමි. අපේක්ෂිත දිනට, දිනකට පෙර බෝට්ටුව සීඋල්වලට පැමිණයේය. මැදියම් රැයේ මා ගෙදර  පැමිණෙනු අසල්වැසියන් කිසිවකු විසින් නොදක්නා ලදී. මගේ පවුලේ අය සමඟ මා දුටු මගේ පියා සතුටින් මෙසේ කියා ඇත.

‘යාංතම් ඇති අපි නින්දට යමු උදේට කතා කරමු. ඇයට මහන්සි ඇති.’

මම දීර්ඝ ගමනකින් වෙහෙසට පත්ව සිටියෙමි. පැය ගණනක කාලගුණයේ වෙනසට නුහුරුව කෙතරම් දැඩි ලෙස වෙහෙසට පත්ව සිටියාද යත් එදින රාත්‍රියේ උණ ගැනිණි. මට මගේ ඇඳ මත වැතිරෙන තෙක් මේ අසනීපය දරාගෙන සිටියාක් මෙනි. සති ගණනක් මම ලෙඩින් වැටී සිටියෙමි.

මගේ රෝගය වැලඳුණු මුල් අවස්ථාවේය. හදිසියේම කිසිදු හාංකවිසියක් නොමැතිව, යුද්ධ හමුදාව කඩා බිඳගෙන උතුරුකරයේ සිට අපේ මිනිසුන් විසින් පාලනය කරන ලද මාගේ මාතෘ භූමිය  විනාශ කරමින් එක් රැයකින් අප ආගන්තුක පාලනයකට නතු කරමින් පැමිණියහ. ඔවුහු දුෂ්ට වූත් හිංසාකාරී වූත් හිතක් පපුවක් නැති පරදේශක්කාර රටක හිංසාකාරී හස්තයක පාලනයෙන් පුහුණුව ලද විකෘතිව ගිය මිනිස්සුන් වූහ.

ලෝකයේ අනෙක් කෙළවරේ අෑත රටක ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති නෛක ශ්‍රීන් විරාජමාන මහා රජතුමන්ගේ අග්‍රාමාත්‍යවරයාද උත්තරීතර සෝවියට් සභාවේ සභාපතිවරයාද ඔවුන්ගේ උසස් නිලධාරීහුද මානව සුබසාධනය පිළිබඳ විශේෂඥයෝද එහි රැස්ව සිටියහ. ඔවුන් අබියස ලෝක සිතියම කොළ, රතු, කහ, නිල් පාටින් බැබළෙමින් තිබිණි. ලෝකයේ ඉරණම තීරණය කැර හමාරය. එක් තැනෙකින් කැපිල්ලක් තව තැනෙකින් කැබලි කිරීමක් තවත් තැනෙකින් ඉරක්! 'යුද්ධය පහසුව පිණිසය.’ ඉතිහාසය පොත කියයි. මාගේ ආදරණීය මාතෘ භූමිය දෙකඩ කරනු ලැබිණි. අපේ සිත් හා හදවත් අපේ පවුල් අපේ ජීවිත කීතු කීතු කරනු ලැබිණි.

මාගේ ආදරණීය මාතෘ භූමිය! ඔබේ බත, ඔබේ මුද්‍රික පානය ඉදින් කිසි දිනෙක ඒ රසින් යුක්ත වේද? ඔබේ බටලීයෙන්, වීණා තතින් ඒ නැඟුණු ගී නද නැවත කිසි දිනෙක එවන් මිහිරකින් යුක්ත වේද?

අපි නැවැත වරක් ක්‍රීඩා පිටියට පැමිණ සිටිමු. නන්වන් සුන්දර අතීත මතක සිතිවිල්ලෙන් පිරී ගිය කී්‍රඩා පිටිය. අද එදා වූ ඒ සියලු මතකයන් සියුම් ලෙස සටහන් වී ඇති ස්ථානයයි. පැටි කල, ළමා කල මගේ පන්තියේ යහළු කෙල්ලන් සමඟ කෙළිදෙළෙන් සතුටින් ගතකළ කී්‍රඩා පිටිය, ජපන් අධිපතියන් විසින් අප පාලනය කරන ලද කාලයේ ගොඩනඟන ලද ක්‍රීඩාපිටිය, මෙම ප්‍රදේශයේ් මෙන්ම කොරියාවේ සෑම ප්‍රදේශයකම ලියන්නට, කියවන්නට හා හිතන්නට පර භාෂාවකින් උගැන්වූ කාලයයි.

මගේ මාතෘ භාෂාවෙන් ප්‍රසිද්ධ ස්ථානයකදී කතා කළේ නම් අධිපතියාගෙන් හෝ ඔහුට බැළමෙහෙවර කළ කොරියානුවකුගෙන් අතුල් පහරක් කන්නට සිදුවූ කාලයයි. මගේ පියා අනෙක් පියවරුන් සමඟ ශීකෝ විහාරයට ඇඟිලි බැඳ නමස්කාර කරන්නට පැමිණි කී්‍රඩා පිටියයි. අපේ ස්වාමිවරුන්, විවෘත හදින් යුතුව, අපට සහෝදරයන් එකම රැහැක සාමාජිකයන්. එකම සංස්කෘතික උරුමයක ඵලය ලෙස හඳුන්වා දෙමින් සහෝදරයන් ලෙස අප ඇමතූ අපේ ස්වාමිවරුන් ආදියේ සිටි මුතුන්මිත්තන්ගේ පොදු ඓශ්චර්යය රැක ගැනීමට, ඔවුන්ගේ හමුදාවට බැ‍ෙ¾දන ලෙස ආරාධනය කළ ක්‍රීඩා පිටියයි. එවිට යුද්ධය සත්‍ය වශයෙන්ම ඔවුනට අවාසිදායක බවත්, ඔවුන්ගේ මිනිසුන් මියයන බවත් අපි දැන ගතිමු.

අපේ නව අධිපතියන් අපට නව මාර්ගය පෙන්වා දෙන තෙක්, සීතලෙන් ගැහෙන උදයේ මේ ක්‍රීඩා පිටියේ අපි රැඳී සිටියෙමු. පියවරුන්, මවුවරුන්, කුඩා ළමයින් හා වැඩි මහල්ලන් දහස් ගණනින් යුතුව අපි එහි රැඳී සිටියෙමු. වර්ෂයකට පමණ පෙර මා දුටු මගේ අසල්වැසියන් මම එහිදී දුටුවෙමි. එහෙත් ඔවුන්ට මගේ හදිසි පැමිණීම ගැන සැලකිලිමත් වන්නට ඉස්පාසුවක් නොවීය. අපි අපේ නව අධිපතියන් අපට නව මාර්ගය පෙන්වාදෙන තෙක් ඒ සීතල උදෑසන රැඳී සිටියෙමු.

ඔවුහු පැමිණියහ. තඩි බූට් සපත්තු පැලඳ තඩි රයිෆල් රැගෙන ඔවුහු පැමිණියහ. මිනිසුන් ‍ෙදාළොස් දෙනකු පසුපසින් ඇදගෙන ඔවුහු පැමිණියහ. අපි මේ ‍ෙදාළොස් දෙනා හැඳින සිටියෙමු. අප හැදී වැඩුණේ මේ මිනිසුන් සමඟය.

මේස්, බූට්ස් සපත්තු හැඳ රයිෆල් දරාගත් මිනිස්සු සෙනඟ අතරට වැදී තැන් තැන්වල සිටගත්හ. උන් අතර සියයකට වැඩි පිරිසක් සිටියහ. එකෙක් මෙතැන, එකෙක් අතන හැම කෙනකුටම නුහුරු අමුත්තකු තමන් ළඟ සිටින බවත් දැනිණි. වේදනාකාරී පිළිලයක් තමන්ගේ ආත්මය තුළට කාගෙන ඇතුළු වන්නා සේ හැම කෙනකුටම දැනිණි.

ඔවුන්ගේ නායකයා වේදිකාව මතට නැඟ හෙමින් සීරුවේ අපේ හිසට උඩින් ඇස් හරවා ඔහු වටා සිටි ජන ගංගාවේ මුහුණු දෙස සිය නෙත් යොමු කළේය.

සංඥාවක් දෙනු ලැබිණි. මිනිසුන් ‍ෙදාළොස් දෙනාගෙන් එකෙකු ඔහු අසල සිටවනු ලැබිණි. මොහු ‍ෙදාළොස්දෙනා අතර වූයේ අප හඳුනන එක් මිනිසෙකි. ඔහු නගර සභා කාර්යාලයේ ලිපිකරුවෙකි. ඔහු අහිංසකයකු වූ තරමටම අදක්ෂයෙක්ද වූයේය. ඔහුගේ නොවැදගත් වූ රාජකාරිය තම දුර්වල ශක්ති ප්‍රමාණයේ හැටියට ඉටු කළේය. ඔහුගේ රාජකාරියේ ප්‍රධාන අරමුණ වූයේ නොවරදවා වේතනය ගෙන හැම දවසකම සිය අඹුදරුවන් දැකීමට ගෙදර යෑමය.

ඔහුගේ බිරිය හා දරුවන් මේ සෙනඟ අතර සිටිනු මම දුටුවෙමි. ‘සගයෙනි!’ නායකයා බෙරිහන් දුන්නේය. මේ ද්‍රෝහියා දෙස බලනු මැනවි. ඔබ දන්නා පරිදි ඔබ ඉදිරිපිට සිටින මොහු අවුරුදු ගණනක් මේ සමාජයේ ජීවත් වන ජනතාවගේ ජීවිත හා සුබසිද්ධිය සිය හස්තයේ දරාගෙන සිටියේය. ඔබ සතු ආහාර සලාක පොත් භාරව කටයුතු කළේ මොහුය. ඔබට කොපමණ හාල් ලැබිය යුතුද, කවදා ලැබිය යුතුද යන්න තීරණය කළේ ඔහුය. ඔහු පවත්වාගෙන ගිය ලේඛන පරීක්ෂා කිරීමේදී මේ සලාක බෙදීම අයථා ලෙස කර ඇති බව හෙළිවී ඇත. මේ අගතිගාමී අපරාධකරුට ඔහුගේ වැරැදි නිවැරැදි කර ගැනීමට උපදෙස් දුන් විට ඔහු කළේ ප්‍රතිගාමී යෝජනා ඉදිරිපත් කිරීම හා විරුද්ධත්වය පෑමය. දස දිනක් තිස්සේ අවංකව සලාක ක්‍රමයකට ආහාර බෙදීමට අප ගත් සියලු උත්සාහයන් ඔහු හිතාමතාම කඩාකප්පල් කිරීමට උත්සාහ කර ඇත. ‘සගයිනි’ ඔහු නැවතත් සෙනඟ අමතා හඬ නැඟීය.

‘මේ ද්‍රෝහියාට අප කුමක් කළ යුතුද?’

‘ඔහු මරා දමනු!’ සෙනඟ අතර විසිරී සිටි මිනිස්සු ඔවුන්ගේ අත්මිටි ඉහළට ඔසවා එක හ¾ඩින් මොර දුන්හ.

‘ඔහු මරා දමනු!’

වේදිකාවේ සිටි නායකයා එය අනුමත කරමින් හිස වැනීය.

‘ඔබට ස්තුතියි. ද්‍රෝහියාට දියයුතු සුදුසු දඬුවම එයයි.’

ඔහු පිස්තෝලය කොපුවෙන් එළියට ගෙන මිනිසාගේ නළලට තබා කොකා ගැස්සීය. ලිපිකරුවා වේදිකාවේ ලෑලි මතට ඇද වැටුණේය. සෙනඟ තුෂ්ණීම්භූතව ගියහ.

‘ද්‍රෝහීන්ට මරණය!’ මිනිස්සු ගුඟුළහ. මිනිසාගේ ලේ, පිපිරී ගිය ලෑලි අතරින් ගලාගොස් ක්‍රීඩා භූමියේ බිම තෙත් විය.

මේ මිනිසාගේ තැන ගැනීමට තවත් මිනිසකු වේදිකාවට නග්ගනු ලැබිණි.

‘සහෝදරවරුනි!’ නායකයා නැවතත් හඬ නැඟීය. ‘මේ මිනිසා දෙස බලනු මැනවි.’ මේ මිනිසා හඳුනාගත් පසු කම්පිතව ගිය මිමිණුමක් සෙනඟ පුරා පැතිරී ගියේය.

මගේ සොහොයුරා මගේ පියාගේ කනට කොඳුරා මෙසේ කියනු මට ඇසිණි.

‘තාත්තේ ඒ කොමියුනිස්ට් නායකයා නේද?’

‘ඔව්’

‘එහෙනම් ඇයි මේ?’

තුන් වර්ගයක් ඉන්නවා. ‘දකුණු කොරියාවේ පුහුණු කොමියුනිස්වරු, චීනයේ පුහුණු කොමියුනිස්වරු, රට දෙකඩ කළාට පසු උතුරු කොරියාවේ පුහුණු කළ අය. උන් උන් මරාගන්නවා.’

නායකයා ඔහුගේ චෝදනා ඉදිරිපත් කර අවසන් කළේය. නැවතත් සෙනඟ අමතා මෙසේ ඇසීය. ‘සහෝදරවරුනි!’ මේ ද්‍රෝහියාට අපි කුමක් කළ යුතුද?’ පෙර පරිදි මිනිස්සු ‘ඔහු මරනු’යි ගුගුළහ.

නැවත වරක් නායකයා සෙනඟ දෙසට හැරුණේය. ‘සහෝදරවරුනි!’ ඔහු නැවත වරක් ගුගුළේය.

මේ ජනතා ද්‍රෝහියාට කුමක් කළ යුතුද?

‘ඔහු මරා දමනු’ මිනිස්සු සියලුදෙනා මරහඬ දුන්හ. ‘ඔහු මරා දමනු’ අපිදු තොල් මතුළෙමු.

නායකයාට සතුටක් දැනුණු වගක් පෙනිණි. ඔහු නැවත වරක් පිස්තෝලය උස්සා මිනිසාගේ හිසට තබා තද කළේය. ඔහුගේ ලේ වැල් ක්‍රීඩා භූමිය තෙත් කරමින් අනෙකාගේ ලේ හා මුසුවීය.

‘තවත් දස වරක්!’ නායකයා අපට එසේ කීවේය.

‘තවත් දස වරක්’ අපි භීතියෙන් ගැහෙමින් ඔහු මරා දමනුයි අපේ තොල් අතරින් මිමිණුවෙමු. දවසේ දස වරක් කොරියන් ලෙයින් කොරියන් බිම තෙත් වුණේය.

සීතල උදය කාලය, උණුසුමෙන් තොර වූ දහවල් යාමයට හැරෙන තෙක් අපි මෙය නරඹමින් ගැහි ගැහී සිටියෙමු.

මගේ ආදරණීය ජන්ම භූමිය

ඔබේ වත, ඔබේ මුද්‍රික පානය

ඉදින් යළිත් කිසි දිනෙක

එවන් රසින් යුක්ත වේද?

ඔබේ වස්දඬුවෙන්, වීණා තතින්

එවන් මිහිරක් නැවත නැඟ ඒද?

පෙරදිග මිනිසුනට ශාප වේවා!

අපරදිග මිනිසුනට ශාප වේවා!

මාගේ මාතෘ භූමිය කීතු කොට ලෙයින් තෙත් කළෝ කවරහුද? ඔවුනට ශාප වේවා!



https://mawbima.lk/2024/07/27/%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9D/

Nissanka Rajapaksa

unread,
Jul 28, 2024, 9:01:09 PM7/28/24
to INDRAKA group
19
වාසනාවන්ත ගෑණු 

- පවිත්‍රා අභයවර්ධන

සීතා ගේට්ටුව ඇරගෙන යද්දි සුසිලක්කා ඉස්තෝප්පුවෙ වේවැල් පුටුවේ දිගෑදිලා තරුණි පත්තරේ බලනවා. මිදුලෙ කොළ. තාම මිදුල අතුගාලත් නෑ.

“කොහොමද අක්කෙ ගමන?”

සීතා ඇහුවේ ගෙට ගොඩවෙන ගමන්. 

“අප්පේ ඉඳගෙන ගිහින්ම මගේ කොන්ද කකියනවා. ඇයි යනව යනව ස්වල්ප දුරක්යැ. පොඩ්ඩටත් මේ ළඟක ගෑණු නෑ වගේ හොයගත්තා. දවසක් යනවා යන්නම.”

ඊයෙ සුසිලක්කායි කීර්ති අයියයි පුතාල දෙන්නයි තව කට්ටියකුයි ගියේ පොඩි පුතා, අසේලගේ මනමාලි බලන්න. කැම්පස් එකෙන්ම හොයාගෙන. ලොක්කත් එහෙමනේ. ඒ ගමන් වලට ගෙනියන්න කැවිලි හදාගන්න, අක්කට සාරියෙ හැට්ටෙ මහගන්න, පොට ගානට හදාගන්න මිසක් සීතට ගමන්වලට ආරාධනා නෑ. ඒවට හිතේ කහටක් නෑ සීතගෙ. නෑනල උනාට සුසිලක්කයි තමනුයි අහස පොළව වගේ. අක්කලට ඕනැ හැටියෙ වටිනා නෑයො ඉන්නව එහෙම ගමන්වලට එක්ක යන්න. 

ඊටත් තමන්ගේ කණවැන්දුමී. හරියට යමක් කමක් නෑ. ඔන්න මිනිහා නැතත් ළමයි ටිකවත් හරියට හදාගත්ත නං තැනකට එන්න තිබුණා. සීතා පස් කාල දැඟලුවත් තුන්දෙනාගෙන් එක්කෙනෙක්ටවත් හරියට ඉගෙනගන්න උවමනාවක් තිබු‌ණෙ නෑ. අද ආවෙත් අක්ක එක්ක ළමයෙක් ගැනම කතා කරන්න තමයි.

“මනමාලි කොහොමද අක්කෙ?’

චාරිත්‍රෙට ඇහුවට මනමාලි පොඩි පුතා එක්ක කතා කරන ගමන් සීතා එක්කත් ෆෝන් එකෙන් මූණ බලං කතා කරලා තියෙනවා. නිළියක් වගේ. පොඩි පුතත් ඉතින් කොයි තරං හැඩද? සනත් ගුණතිලක තරුණ කාලෙ වගේ.

“නරකක් නෑ. හීන්දෑරියි බට පතුරක් වගේ. පොඩ්ඩා ළඟ තිබ්බම පෙනුමක් නෑ ඉතිං, ඕං ලොක්ක එනකං හිනා වෙවී ආවේ හූනා මාරගහ බදාගත්තා වගේ තියෙයි කියලා.”

අක්කට ඉතිං රූප සුන්දරියක් උනත් පේන්නෙ ඇදට. අනේ සංසාරෙ. සීතට හිතුණා. එහෙමනම් සීතාගෙ ලොක්කා, අමිත් හදිසියේම කෙල්ලක් එක්කගෙන ආව දවසෙ සීතාට මොනව කියන්න තිබුණද? අද වෙනකං උඹ නොදකිං කියාගෙන නෑ නැන්දම්මයි ලේලියි. පෙනුමක් ලොකුවට නැතුවට චම්පාගෙ ලොකු වරදක් නෑ. වරදක් තිබුණත් ආයෙ ගිහින් දාන්න කියන්නයැ. කොල්ලට හොඳ නං සීතට මොකෝ.

“කට්ටිය හොඳද අක්කේ?”

“හොඳා හොඳා. අම්ම බැංකුවෙ. තාත්තානෙ ඔය හාර්ඩ්වෙයාර් එක කරන්නේ. ගේ එහෙම මහ විසාලයි. දුව විතරනෙ.”

හොඳයි කිව්වට අක්කගෙ මූණෙ වත් කිසි සතුටක් නෑ. 

“ඔක්කොමත් හරි දුර තමා. දැන් මගුල් වලට දෙවෙනි ගමන් වලට යනකොට අපේ පණ යයි”

පොඩි පුතා ඉන්න දවසක් බලලා සීතා ආවේ, මද්දුමය කසුන්ට මොකක් හරි වැඩක් හොයාගන්න පුලවන්ද බලන්න. කීර්ති අය්යගෙ වාහනේ දුර ගමන් වලට එක්කගෙන යන නිසා කසුන්ට හොඳට ඩ්‍රැයිවිං වැඩ පුලුවන්.

“සීත ආව එක හොදයි. පොඩ්ඩට ඔෆිස් එකට ගෙනියන්න වැලිතලප ටිකක් වත් කපල ඕන කියනවා. කැවිලි මුකුත් ඉතුරු උනේ නෑනෙ. මං මේ නැගිටගන්න බැරිව හිටියෙ.”

-------------------------------------------
සීත කසුන්ට පඩි හම්බෙනකං හිටිය ලොකු පුතාගෙ බබා බලන්න යන්න. පොඩි එකා ගෙදර ගෙනල්ලත් සති දෙකකුත් උනා. අක්කගෙ හිත නරක් වෙලාද දන්නෑ යන්න පරක්කු උනාට. අක්ක ඕව හොඳට හිතේ තියං ඉන්න බව සීතා දන්නෙ සීතා එක්කම කියන කතා වලින්.

“අර වංගුවෙ ගෙදර මහ දෙන්නට ගෙදරටම ගිහින් බුලත් දීලත් ගෑනි ආවෙ නෑනෙ ලොකු පුතාගෙ මගුලට. එයිනෙ උන්ගෙ මගුලුත් කියන්න. මං නං දැංම කියලා තියෙන්නේ මහත්තයට කියනකොටම මොකක් හරි වැඩක් දාගෙන ඉන්නෙ එන්න වෙන්නේ නෑ කියමු කියලා.”

“අපේ මහත්තයට ඩෙංගු හැදිලා හිටියා රතු මහත්තයා පැත්තෙ වත් ආවේ නෑ. ඊයෙ මට හම්බුණා තකහනියක් ඉස්පිරිතාලෙ යනවා ලෙඩෙක් බලන්න කියලා බත් මුලකුත් බැඳගෙන. ආවැයිකො ආයෙ ගමන් බිමන් යන්න කාර් එක එහෙම ඉල්ලගෙන” 

අක්කා සීතා එක්ක තමයි ඕව කියන්නෙ. අයියයි පුතාලයි බනිනවනේ මිනිස්සුන්ට ඔහොම කතා කියද්දි.

කෙල්ලට පොඩි ගවුමකුයි සබන් කෑලි පහේ පෙට්ටියකුයි අරන් සීතා ගොඩ උනේ. 

“ආ සීතා මං මේ පණිවිඩයක්වත් යවන්නද කියලා බැලුවේ පොඩි එකා නාවගන්න වත් උදව්වට ආවෙ නැත්තෙ මොකද බලන්න”

අක්කගෙ මූණ හරි නෑ.

“ඇත්තම කිව්වොත් අක්කෙ මොකවත් ගේන්න හැටියක් තිබුණේ නෑ. අත වන වන එන්න බැරි හින්දමයි පරක්කු උනේ. නැත්තං අප්පේ මට‌ ලොකු පුතාගෙ පැට්ටි කිව්වම බලන්න ඉවසිල්ලක් නැතුව හිටියෙ” බොරුවක් කියන්න ඕන නෑනෙ. සීතා ඇත්තම කිව්ව. පොඩි පුතයි ලොකු පුතයි සීතා වඩාගෙන හැදුවෙ. උන්ගේ ළමයි කිව්වම තමන්ගෙම වගේ තමයි.

“ආයෙ හිස් අතින් ආවට මොකද? සීතාට තියෙන කරදර පුතාල නොදන්නවයි’ ඒ උනාට නිකම් ගොඩ උනා නං අක්ක පස්සෙ පහු කියන ඒවා සීතා දන්නව.

ලොකු පුතාගෙ නෝනා, සමන්තා දුවත් හරි සීදේවියි. කට පුරා නැන්දෙ කියලා කතා කරන්නේ.

“අනේ නැන්ද එනකම් බලා හිටියෙ මං. පොඩි එක්කෙනාගෙ ඇගේ රතු පලු දාලා නැන්දෙ. බයේ බෑ. රත කල්කෙ දුන්නේ නැති නිසා රත ගායද කියලා අම්මා කිව්වේ”

සමන්තා දුවගේ මූණත් මැලවිලා. පළවෙනි ළමයනෙ. හැමදේටම බය ඇති.

සීතා අත් හොඳට හෝදල බබා අතට ගත්තා.

“අප්පේ මොන රත ගායක්ද දුවේ මේ අපූරුවට ඉන්‌ෙන. ඔහොම තමයි උපන් හම ගැළවෙනවනේ ටික ටික. ඉන්ඩකො මං රත් මල් ගෙනාවා. රත් මල් තම්බලා ටිකක් වැඩිපුර නාවමුකො චූටි මැණිකෙව. ඔය ඔක්කොම අමාරු නැති වෙන්න.“

කෙල්ලගෙ රෙදිත් හෝදල දාල, සමන්තා දුවට පොළොස් ඇඹුලකුත් ලිපට කරල එදා නං සීතා එළියට බැස්සේ සුසිලක්කා එක්ක ඇත්තටම තරහෙන්.

ළමය හින්ද රෑට නිදාගන්නවත් නැති වෙලා හින්දද මන්දා හොස්ස ළඟින් මැස්ස යන්න බෑ.

තමන්ට විතරක් නෙවෙයි. අර ළමය හම්බෙලා ඉන්න කෙල්ලටත්.

ඒ ළමයා දරුවත් අරන් තමන්ගෙ මහ ගෙදර යන්න ඉද්දි, ඒ අම්මා තාම රස්සාවට යනවය, තමන් ඉන්නේ ගෙදරය ගමේ අය ඕන හැටියෙ උදව්වට ඉන්නවය කියලා මෙහෙට ගෙන්න ගත්තෙත් අක්කම කියලා සීතා දන්නවා. ඒ ආපු නම්බුව දෙන්නෙ නැතුව බුකවගෙන ඉන්නවා.

“ළමයට රෑට අමුඩයක් වගේ එකක් අන්දනවා. තුවාල වත් 
හැදෙයිද කියලා මං බයේ ඉන්නේ.”

“ඔක්කොම රෙදි දානවා මැසිමේ. ඇඟවල් ඇඹරෙනවා පොඩි උන්ගේ. රෑ තිස්සෙ අඬන එක අහන්න දෙයක්යැ”

සුසිලක්කගෙ නොක්කාඩු ඉවරයක් නෑ.

ආයෙ අක්කා උදව්වට ඇහැරගෙන ඉන්නවද රෑට, රෙද්දක් හෝදලා දෙයි කියලද ඒවා මොනවත් බෑ. ඇද නං හොයයි.

පොඩි දරුවෙක්ගේ අගේ දන්නෙ නෑනෙ. සීතගෙ ලොක්කි බැඳලා අවුරුදු පහක්. කාසල් යනවා පරීක්ෂණ කරනවා අනේ මොකවත් වෙනසක් නෑ. පොඩි එකෙක් අපිට හම්බුණා නං මල් වට්ටිය වගේ තියාගන්නේ. මේක එකපාරම ලැබුණම අක්කලට අගේ නෑ. සීත හිතනවා.
-------------------------------------
සීතාටත් තරහ වෙලා ඉන්න බෑනෙ. කොයි දේටත් අක්කට ඉන්නෙ සීතා. සීතාට ඉන්නෙ අක්කා.

ආඬපාලි කියන්න දෙයක් නැති කමට එක එක ඒවා හොයනවා.

කීර්ති අය්ය බොන කන මිනිහෙක් නෙවෙයි. ඔක්කොම හරුබස්ස ගෙනත් පොදි කරනවා. ගෙදර හරියෙ හැමදේම හොයා බලනව. එහෙම තියාගෙනත් තමන්ගෙ කාට හරි උදව්වක් කරලා තිබුනොත් අක්ක යකා වෙනවා. 

කොල්ලො දෙන්න සතියක් ගානෙ එනවා. ඔෆිස් වල වැඩක් හරි වැටිල හරි ළමයෙක් ලෙඩ වෙලා හරි දවසක් ආවෙ නැත්නම් මාසයක් ගතු කියනවා. මූණ බලන්න බෑ.
------------------------------------
අක්ක නැතිවුණේ නින්දෙන්මයි. කඨිනෙට පුතාල දෙන්නයි ලේලිලයි මුණුබුරු මිණිබිරියො තුන්දෙනයි ඇවිත්. කඨින පෙරහැරත් බලල ගෙදර ඇවිත් කට්ටිය එක්ක කතා කරකර ඉදලා කෝපිත් බීලා නිදාගෙන උදේ ඇහැරිලා නෑ.

අප්පේ ආව සෙනග කන්දරාව. නෑයොද කීර්ති අයියගෙ යාලුවොද. ඊට හපන් පුතාල දෙන්නගෙයි ලේලිලගෙයි ඔෆිස් වලින් වෑන්, බස් පුරවල සෙනඟ ආවෙ.

චිතකෙන් දුම යනකොට තමන්ගේ හිතෛෂී යාලුවා, නෑයා නැතිවෙච්චි දුකෙන් සීතා බලාගෙන හිටියා. 

“වාසනාවන්ත මරණෙ”

සීතට පිටිපස්සේ හිටපු ගමේ කෙනෙක් කිව්ව.

“පුදුම වාසනාවන්ත ගෑණියෙක් නෙ බං ඇත්තටම. කීර්ති අයියා හොඳ රස්සාවක් කළා. පුතාල දෙන්නම හොඳට ඉගන ගත්ත. හොඳ රස්සාවල් කළා. හොඳ කෙල්ලො දෙන්නෙක් බැන්ද. පොඩි උන් හම්බුණා. මොන අඩුපාඩුවක් වත් නෑනෙ කොයි අතින්වත් සීතා මැණිකෙට. හැමදාම සැප වින්ද.”

සැප නං වින්ද. සතුටක් තිබුණද? මහාමෙරක් වගේ දේවල් වටේ තියෙද්දි පොඩි පොඩි දේවලට ඥුරු ඥුරු ගගා හිටියා මිසක් තමන්ගේ ළඟ තිබිච්ච වාසනාව ගැන අක්ක නං දැනගෙනවත් හිටියෙ නෑනේද කියලා දුම් රොටු යන දිහා බලං හිටපු සීතට හිතුණා. 

Nissanka Rajapaksa

unread,
Jul 29, 2024, 8:28:41 PM7/29/24
to INDRAKA group
20
රිදී හවඩිය

- මංගලා ගුණරත්න 

කෑගල්ලෙන් පහ හමාරට පිටත් වෙන බසය පොතුකොළදෙනිය කන්ද බහිනව ඇහෙද්දි වාඩි වෙලා හිටිය ගල් බැම්මෙන් නැගිට්ට සිරිමල්හාමි කරේ තිබුනු තුවාය ගසලා නැවත කර වටේ ඔතා ගත්තා.  පින්දෙනිය වත්ත කෙළවර රබර් මණ්ඩිය ට කළුවර වැටීගෙන එනවා. සතා සරුපයා එළි බහින වෙලාව. ගලවලා එකතුකරගත්ත ඔට්ටපාලු ටික ගෝනියට දමාගත්ත සිරිමල් හාමි ගල් වැට පැනලා පාරට ගොඩ උනේ ගෙදර පැත්තට යන්න. ඇඟිළි කරු අතරින් ගලන ලේ බින්දු දැක්කේ  කූඩැල්ලා බිමට වැටිලත් ටික වෙලාවකට පස්සෙ. රබර් වතු වල විතරක් නෙවෙයි මේ වහින කාලේට මිදුලේ පවා මැන මැන යන  කූඩැල්ලෝ හරියට.

එක අතකින් ඔට්ටපාලු ගෝනියත්, අනෙක් අතින් කිරි පිහියත් ගත්ත සිරිමල් හාමි හෙමින් හෙමින් පල්ලම් බහින්න පටන් ගත්තා. 

"මාතියා වත්තට ගියා වගෙයි..."

ගල් වැටිය පැනලා පල්ලම් බහිද්දි මුලිච්චි වුන සින්නදොරේ බුලත් කහට බැඳුණු දත් පෙන්නල හිනා උනා. 

"සින්නදොරේ කඩ මණ්ඩියට ගිහින් වගේ. වත්ත පහළ කැළේ වැවිලා. නිවාඩු පාඩුවේ ආවනම් සුද්ද කරගන්න ...."

"එහෙමයි මාතියා. මම එන්නම් වෙලාවක... ගිහින් එන්නම්  ....."

සිරිමල්හාමි නිවස පිටිපස්සෙ අඩි පාරේ කන්ද නැගගෙන පිළිකන්නට ගොඩ වෙද්දි කුස්සිය පැත්තෙන් කරෝළ බැදුමක සුවද දැනුනා. 
රෑ කෑමෙන් පස්සෙ පුරුදු විදිහට කාමරේ  ගල්ලැහැ පැදුරට වැටුන විතරයි මතක. 

සිරිමල් හාමිට වයස අවුරුදු හැට එකක්. හීන් අයියාට හැට තුනක්. ලොකු අයියා ජීවත් වෙලා හිටියනම් මේ වෙනකොට හැට හතක්. ලොකු අයියට දීර්ඝායුෂ හිමි වුනේ නැති නිසා පවුලෙ බර කරට ගන්න උනේ සිරිමල් හාමිට. හීන් අයියා කවදත් වැඩට පළට කම්මැලි එකා . මඩුවේ ඇඳේ නිදාගෙන ඈණුම් අරින එක මිසක් වැඩකට ඇති වැඩක් කෙරුවද මතකයක් නෑ.

 දරුවො හත් දෙනෙක් ගෙ පුංචි තාත්තා උන සිරිමල් හාමි ට කවදාවත් තාත්තෙක් වෙන්න බැරි උනා. ඒ  ගැන හැමදාම හීන් දුකක් හිතේ තිබුනා.  කටක් ඇරලා  තාත්තේ කියල කිව්වෙ නැති එකට එකෙකුටවත් දොසක් කියන්නයැ. අම්මාගේ කසාද මිනිහා ලොකු අයියා වෙච්චිකොට, පුංචි සන්දියේ ඉඳලා උන් පුරුදු උනේ ලොකු අයියට තාත්තේ කියන්න.

 හීන් තාත්තායි පුංචි තාත්තයි කියන්නේ තාත්තගෙ සහෝදරයො දෙන්නා කියන එක පොඩි කාලේ දැනගෙන හිටියට දැණුම් තේරුම් ඇති වෙනකොට උන්ට තේරුනා තාත්තට වගේම අයිතිවාසිකමක් හීන් තාත්තටයි පුංචි තාත්තටයි අම්මා ගැන තියෙනව කියන එක. 

 තාත්තට කෑම එක බෙදලා දෙන අම්මා හීන් තාත්තටත් ඒ වගේම සලකන හැටිත් වෙලාවකට පුංචි තාත්තගෙ ඔලුවෙ තෙල් ගාලා කොණ්ඩෙ පීරලා ගැට ගහන හැටිත් දැක්කා. සිංහල අවුරුද්දට බුලත් අතක් දීලා සිරිනාවතී තාත්තට ඉස්සරවෙලා වැඳලා පිළිවෙලින් හීන් තාත්තටත් පුංචි තාත්තටත් වඳිනවා දරුවෝ දැක්කා. සහෝදරයෝ තුන් දෙනා අතරෙ ගැටුමක් තිබුනෙ නැහැ කවදාවත්.

ලොකු අයියගෙ කසාදෙ කෙරෙන වෙලාවෙ අම්මා කීවේ මේ දේපළ පිට යන්න දෙන්නේ මොකටද, උඹලා තුන් දෙනා සමගියෙන් හිටපල්ලා කියලා. අම්මා හෙව්වේ උන්දැගෙ මනාපෙට වැඩ කරන ලේලියෙක්. 

සිරිමලෝ.....මෙහෙ වරෙන්.....

අම්මා දවසක කතා කළා හවස් වරුවක.

"ඇයි අපේ අම්මා ..".සිරිමල්හාමි මිදුලට ගොඩ උනේ කරමින් හිටපු වැඩේ නතර කරලා.

"ලබන සතියෙ අපි ගලිගමු යන්න කියලා.....අයියට පෙළවහක් කරගන්න කාලෙ හරි. ජේමිස් කපුවා හොඳ කටයුත්තක් කතා කරලා. අපි ඒ දැරිවි ව බලන්න යන්න කියල හැදුවේ. "

ඒක හොදයි අපෙ අම්මා...සිරිමල්හාමි කීවේ සහෝදරයා ගැන උපන් කරුණාවෙන්.

 "ඒත් පොඩි පුතේ. දැන් උඹල දෙන්නගෙ කළවයසත් හරි. තවත් මේව කල් දාන එකේ තේරුමක් නැහැ. තාත්තයි මමයි කතා උනේ උඹල දෙන්න ගැනත් බලන්න."

අම්මා කීවේ පුවක් කෑල්ලක් ගිරේට තියලා කටස් ගලා කපන ගමන්. උන්දෑ කැපුව පුවක් කෑලි ටික වංගෙඩියට දාලා බුලත් කොලේකුයි හුණු ඩිංගකුයි දාලා කොටන්න ගත්තා. සිරිමල්හාමී නිහඬව බලාගෙන හිටියා.  

සීරුවට විට කෙටුව අම්මා ඒ ටික කටේ හලාගෙන ලොඹු කටේ එහා මෙහා කරලා ඇඟිළි දෙක මැද්දෙන් රතට රතේ කෙළ පාරක් ගැහුවා මිදුලට.

ඇඟිළි දෙක චීත්තෙ කෙළවරක පිහල දැම්ම උන්දෑ ආයෙත් කතාවට හරිබරි ගැහුනා. 

"පොඩි එකෝ. පරම්පරාවෙන් පරම්පරාවට අයිතිවෙලා තියෙන මේ දේපළ කන්දරාව පිට යන්න දෙන්න හොඳ නැහැ .....

අම්මා කීවේ සිරිමල් හාමිගේ මූණ දිහා බලලා .

"අපි මේවා ඒ දැරිවිගේ දෙමාපියෝ එක්කත් කතාබහ කරල තියෙන්නේ. උන්දැලා මනාපයි අපේ යෝජනාවට. ඒ දැරිවී උඹලා තුන් දෙනාවම බලා ගනීවි"

සිරිමල්හාමිට එතකොටයි තේරුනේ අම්මාගේ සැලැස්ම. උන්දෑ කිව්වොත් කිව්වා. තීරණේ අරගෙනම තමයි කතා කළේ. 

ඒ විදිහටයි සිරිනාවතී පොතුකොළදෙනිය කන්ද බැහැගෙන ගලිගමුවෙ ඉඳලා මල්වානට ආවේ.
කසාදෙ දවසේ මනමාළි ගෙට කැන්දන් ආව වෙලාවේ සිරිමල් හාමි මග ඇරියේ කියාගන්න බැරි මොකද්දෝ කෝළ හැඟීමක් දැණුන නිසා. අලුත් මනමාළිත් සිරිමල්හාමි දිහා බැලුවෙ ඒ විදිහට. ඒත් දවස් කීපයක් යනකල්  මනමාළිගෙ හුළඟක්වත්  වැදුනෙ නෑ සිරිමල් හාමිට.

 හීන් අයියා නම් දවස් දෙකතුනක් යනකොට රැවුල කපලා, කොන්ඩෙ තෙල් ගාලා පීරලා පිළිවෙළකට ඉන්නවා දැක්කා. කාටවත් සිරිමල්හාමිව මතක නැති ගානයි.

 කලකට පෙර තාත්තා උඩගලදෙණිය වත්තේ පොඩි ගෙයක් හැදුවේ වත්ත බලාගන්න හේරත් හාමිට ඉන්න. හේරත් හාමි ලොකු කේළීගෙ ගෙදර  නතර වෙන්න ගිය නිසා ගේ වහල දාලා තිබුනේ . සිරිමල්හාමි තීරණේ කලා නිදහසේ ඉන්න වත්තට යන්න. 

උවමනා කරන කළමණා ටික එකතු කරගත්ත සිරිමල්හාමි ඇඳුම් කඩමලු කීපයක් කොට්ට උරේකට දාගත්තා. අම්මට ඉවට වගේ දැණුනා පොඩි කොලූගෙ වෙනස. ඒත් ඇඟෙව්වෙ නෑ. හෙමිහිට කුස්සිය පැත්තට ඔලුව දාපු සොපි නෝනා කුටු කුටු ගෑවා සිරිනාවතී එක්ක. 

"සිරිමලෝ මේ බත් කාලා හිටියනම්...."

අම්මා කෑ ගහනවා ඇහුනේ එළියට බහින්න හදද්දි. 

"මම යනවා වතුර එකක් වක්කරගන්න.හරි ගිරීස්මෙයි   ......."

එහෙම කියපු අම්මා වැලේ වනලා තිබුන චීත්ත රෙද්දක් බාල්දියට දාගෙන ගල් පඩි පෙළ බහින්න ගත්තා. 

බත් එක බෙදලා දීල යන්න තිබුනනේ උන්දැට. මට ඕන කෑමක් නැහැ මම යනවා යන්න. 

සිරිමල්හාමි හෙමිහිට නැගිටලා මිදුලට බැස්සා. 

සිරිමල් අයියේ......

එතකොටම ඇහුනා රිදී සීනු නාදේ. 

මේ බත් එක කාලා හිටියනම්.....

සිරිමල්හාමි එක තැන ගල් උනා වගේ. 

මොකද ඔච්චර ගණන්........සිරිනා ගෙ කිචි කිචිය සිරිමල් හාමිට ගෙනාවෙ නොරිස්සුමක්. 

මේකිටත් මාව විහිලුවක් වෙලාද....

පුටුව උඩ තිබ්බ රෙදි උරේ ගන්න හැරුනා සිරිමල්හාමි. දොරකඩ හිටපු සිරිනා එච්චර ළඟට ඇවිත් ඇති කියලා හිතුවෙ නැහැ. සිරිනා හිතුවෙත් නෑ සිරිමල්හාමි එක පාරටම  හැරෙයි කියලා. දෙන්නා හැප්පුනා හැප්පිල්ලක්. සිරිනා විසි උනා එක පාරටම. පැත්තකට ඇළ වෙලා වැටෙන්න යද්දි  සිරිමල්හාමි ඇදලා ගත්තා සිරිනව වැටෙන්න නොදී.  කාන්දමක් වගේ සිරිනා සිරිමල්හාමිගේ ඇඟේ එතුනා. 

කාලය ගලා ගියා සාමකාමීව. සිරිනා ගේ පියයුරු කිරෙන් බර වෙන හැම අවුරුද්දකම නිවසේ සතුට දෝරේ ගලා ගියා.  සෙනෙහෙලතා ඉපදුනේ පිරිමි ළමයි තුන් දෙනෙකුට පස්සේ. ඊටත් පස්සෙ  සුගතපාලයි ගුණපාලයි ඉපදුනා. පවුලේ බඩපිස්සී උනේ පේමලතා. 

දරුවෝ හත් දෙනා එක්ක සිරිනා ජීවත් උනේ රැජිනක් වගේ. ලොකු කොලුවො දෙන්නාට තිබුනේ ලොකු අයියගෙ ගති ගුණ. පෙණුමත් ඒ වගේමයි. ඒ පෞරුෂය , ඒ ගමන බිමන. තුන් වෙනියා හීන් අයියගෙ කපාපු පළුව. උසට උසේ හැදුන දයාපාල ගෙ ඇඟේ මස් කළඳක් නෑ. කොච්චර කන්න තිබුනත් උගෙ ඇඟ නම් හැදුනේ නැහැ. 

සෙනෙහෙලතාටයි ගුනපාලටයි තිබුනේ සිරිමල්හාමිගෙ හැඩ රුව. දෙන්නම උස නැහැ.තළෙළුයි. උන් දෙන්නා දකින ගානේ සිරිමල්හාමි ට මහා සතුටක් දැණුනා. අනේ මුන් දෙන්නා මට තාත්තේ කියනවනම්..  .දහස්වර සිතුවා සිරිමල් හාමි, ඒත් කටක් ඇරලා කියන්න ගියේ නැහැ.

සිරිමල්හාමිගෙ අම්මයි තාත්තයි දෙන්නම මිය පරලොව ගියේ උපරිම  ආයු කාලයක් විඳලා.ඒ වෙනකොට දරු මුනුබුරු පිරිස දහයක් වෙලා තිබුනා. අපරාදෙ කියන්න බැහැ ලේලිගේ සැළකිලිත් උපරිමයෙන් ලැබුනා. 

ලොකු අයියා ටත් වැඩි ආයුෂ තිබුනේ නැහැ අකාලයේ මරු වැළඳ ගත්තේ පපුවේ කැක්කුමකින්. එදා ඉඳලා සිරිමල්  හාමි ට පවුලේ බර කරට ගන්න උනා. දරුවො ටික ලොකු මහත් වෙනකල්  ලොකු වගකීමකින් හැම දෙයක්ම කළේ සිරිනාගේ ලෙංගතුකමත් නොඅඩුව ලැබුන නිසා.

සෙනෙහෙලතා උස නැති උනාට හැඩ කෙල්ලක්. වැඩි විය පත් උන වෙලාවේ රත්තරන් මාළ පොටක් කරේ දාන්න සිරිනා අතට ගෙනත් දුන්නේ සිරිමල්හාමී මයි. ඒ වෙලාවෙ සිරිනාගේ ඇස් දෙක දිලිසුනේ සතුටට. 

"මම දන්නවා මෙයා සෙනෙහෙලතාට ගොඩක් ආදරෙයි කියලා. ඇයි ඉතින් තාත්තගෙ කපාපු පළුවනේ...."

සිරිනා කිවේ සිරිමල්හාමි අතට තේ එක දෙන ගමන්.
සෙනෙහෙලතා කසාද බැඳලා යන වෙලාවේ සිරිමල්හාමි ඇඬුවේ මගේ දරුවා නේද මේ කියලා. ඒත් ඒක කියාගන්න බැරිව හිත ඇතුලෙම ගොලු උනා.

සෙනෙහෙලතා සිරිමල්හාමි ළඟ වැඳ වැටුනේ තාත්තේ මම ගිහින් එන්නම් කියලා ඒත් ඒක සිරිමල්හාමිට ඇහුනේ නැත්තෙ සෙනෙහෙලතා ඒක කීවේ හිතෙන් නිසා. සෙනෙහෙලතා දැනගෙන හිටියා සිරිමල්හාමි තමන්ගේ තාත්තා බව. ගමේ ඈයොත් කිව්වේ අනේ සිරිමලා වගේමයි මේ දැරිවි කියලා. හැඩ රුවත් ඒ වගේ. 

තාත්තලා තුන් දෙනෙක් උනාට දරුවන්ට කාගේ හෝ හැඩ රුවක් පිහිටලා තිබුනා. 

සෙනෙහෙලතා ගියාට පස්සෙ ගෙදර පාලු උනා.

 දෙවෙනියා අමරපාල බීමට ඇබ්බැහිවෙලා. හැම තිස්සෙම අම්මට කරදර කරන්න උනා සල්ලි ඉල්ලලා. ඒත් මුදල් පාලනය කෙරුනේ සිරිමල් හාමිගෙ අතින් නිසා අමරපාලට ලේසි උනේ නැහැ සල්ලි ගන්න. දවසක් ගෙදරට ගොඩ වෙන සිරිමල් හාමිට ඇහුනා අමරපාලගෙ ගෝරනාඩුව. 

"උඹ මට සල්ලි දීපන්. මට බෑ පුංචි තාත්තගෙන් ඉල්ලන්න. තාත්තා හිටියානම් මට සල්ලි ඉල්ලගන්න තිබුනා . එක එක මිනිහගෙන් සල්ලි ඉල්ලන්නද උඹ මට කියන්නෙ..?

"එක එක මිනිහ වෙන්නෙ කොහොමද . ඒ උඹේ පුංචි තාත්තා. ඒ මනුස්සයට මොනවහරි කියල තිබුනොත් මම උඹෙ  කට තලනවා....."

"තාත්තා හිටියනම් මට මෙහෙම වෙන්නෙ නැහැ. උඹටත් එක මිනිහෙක් මදි උනා....."

චටාස්.....

සිරිනගෙ කම්මුල්පාර කාගෙනම අමරපාල පල්ලම් බැස්සේ සාලේ පැත්තක තිබුන පිත්තල පහනකට පයින් ගහගෙන.

කාලය වේගයෙන් පියැඹුවා. දරුවො තම තමන්ගෙ කූඩු හදාගෙන පියැඹුවා. සිරිනා මිය ගියා නිව්මෝනියාව හැදිලා. බාල දුව ත් පොතුකොළදෙනිය ට දීග ගියා. ගෙදර ඉතුරු උනේ අමරපාලයි ගුණපාලයි විතරයි.

අමරපාල ගෙ ගතිගුණ වෙනස් උනේ නැහැ. සිරිමල්හාමිව පෙනුනෙ හතුරෙක් වගේමයි. පුංචි තාත්තෙ කියල කිසිම දවසක කතා කලේ නැහැ. හීන් අයියා එදා වගෙම අලස කමින් නිදාගෙන විටක් හප හපා හිටියා මිසක් ගෙදර ගැන අවධානයක් තිබුනෙ නෑ. 

 සිරිමල්හාමි ට හීන්වැල්ලේ මගුල් ගෙදරකට ආරාධනා ලැබුනා.  පලයකාට් සරම ඇඳලා පෙට්ටගමේ තිබුන රිදී හවඩිය ඉන වටේ කීප පොටක් පැටලුවා. සුදු බැනියමට උඩින් කෝට් එක ඇඳලා හිස තෙල් ගාලා පීරලා කොණ්ඩ ගැටයක් බැන්දා. මගුල් ගෙදරට ගිහින් ආවේ හවස් වෙලා. ඇඳුම් අහවර කරලා රිදී හවඩිය ගලවලා ඇඳ උඩින් තිබ්බා.  ගුණපාල කතා කරනවා ඇහුනා පිළිකන්නෙන්. මොකද කියලා බලන්න සිරිමල්හාමි කාමරෙන් එළියට ගියා. 

ආයෙත් කමරේට ආවේ විනාඩි හත අටකට පස්සේ. පෙට්‍ටගමේ දාන්න රිදී හවඩිය හෙව්වා. ඇඳ උඩ තියලා ගියා කියලා මතකයි.ඒත් ඒක නැහැ. ඒ වෙලාවෙ ගෙදර හිටියෙත් ගුණපාල විතරයි. 
හත් අට පොටක් පටලන්න පුළුවන් රිදී හවඩිය සිරිමල් හාමිට ලැබුනේ තාත්තගෙන්. සෑහෙන ගාණක් වටින නිසා රිදී හවඩිය දැම්මෙත් එහෙමත් වෙලාවක.ගුණපාලත් හෙව්වා හැමතැනම. ඒත් ඒක හම්බ උනේ නැහැ. 

දවස් කීපෙකට පස්සෙ කඩ මණ්ඩියට යනකොට සේතන් අප්පුහාමි මුණ ගැහුනා.

සිරිමල් හාමි.....බෑරක් ද..?

මම මේ කඩමණ්ඩියට යන්න කියලා......

සිරිමල්හාමි......පහු ගිය ටිකේ කරදරයක් උනා කියල ආරංචි උනා. දැන් සනීප ඇති මගෙ හිතේ.......

කරදරයක්...?

සිරිමල්හමි කුතුහලයෙන් අප්පුහාමි දිහා බැලුවේ මේ කියන කතා ව තේරුම් ගන්න බැරුව  

"අසනීප හැදෙන්නේ කිය කිය නෙවෙයි නේ. ඒත් මම ඒ වෙලාවෙ අතේ තිබුන ගාණ අමරපාලට දුන්නා. පුලුවන් වෙලාවක රිදී හවඩිය බේර ගන්න....."

එහෙම කියපු අප්පුහාමි යන්න ගියා. පිටුපා යන අප්පුහාමි දිහා  බලාගෙන හිටිය සිරිමල්හාමිට තේරුනා රිදී හවඩියට වෙච්ච දේ. 

අමරපාල ගෙදර ආවෙ වැනි වැනී. අසිහියෙන් හිටිය වෙලාව නිසා කතා නොකර ඉවසගෙන හිටියා.

 පහුවදා උදේ හවඩිය ගැන අමරපාලගෙන් ඇහුවා.

"උඹ හොඳ හිතින් හවඩිය බේරල ගෙනත් දීපන්. කවද හරි මම නැති කාලෙක උඹට ඕන දෙයක් කරපන් ඒකට..."

සිරිමල්හාමි කිව්වෙ වේදනාවෙන්.

අමරපාල ආවෙම රණ්ඩුවට. 

"මේව මගෙ තාත්තගෙ දේවල්.උඹ කව්ද මට කියන්න. මේ පුංචි තාත්තේ උඹ ඉන්නවනම් හිටපන් පාඩුවේ.මම කරන්නෙ මට ඕන දේ...."

අමරපාල ගෝරනාඩු කරද්දි ගුණපාල මැද්දට පැන්නේ අයියාට දොස් කියමින්.

"උඹට පිස්සුද අයියේ. පුංචි තාත්තට එහෙම කතා කරන්න . තාත්ත වගේ හැම දෙයක්ම කරපු මනුස්සයා. .."

"අනේ මේ උඹ කට වහගෙන හිටපන්. කසාදයක් කරගෙන යන්නෙ නැතුව මේකට රිංගගෙන හිටියා වස්තු තන්හාවේ. තාත්තගේ දේපළත් අපිට භුක්ති විදින්න නැති කලා. ."

"මේ දේපළ තාත්තට වගේම පුංචි තාත්තටත් අයිතියි අයියේ..."

"පුංචි තාත්තා වැරැද්දක් කරල නෑ අයියේ. උඹ ඔය විදිහට කතා කරන්න එපා. මේවා ඒ කාලේ සිරිත් කියන එක උඹත් දන්නව මමත් දන්නවා. පුංචි තාත්තට දොස් කියන එක නවත්තපන්. .."

"ඔව් උඹට අමාරු ඇති. උඹගෙ අප්පා වෙච්චි කොට. .. තෝත් ඒ විදිහමයි නේ. ඔය මිනිස්සු හිනා වෙන්නේ උඹ අපේ තාත්තගෙ නෙවෙයි පුංචි තාත්තගෙ කියලා..."

සිරිමල්හාමිට ගුණපාල දෙස බැලුනා එක වරම. 

"අසමජ්ජාතියා...."

ගුණපාල එතැනින් නැගිටලා එළියට ගියේ අමරපාල ට දොස් කියමින්. 

සිරිමල්හාමිට ඇති උනේ ලොකු කළකිරීමක් .දරුවෝ හත් දෙනා ලොකු මහත් කරන්න තමන් වින්ද දුක මතක් උනා. සීතලේ කූඩැල්ලන් කඩ කඩ රබර් වතු ගානේ ඔට්ටු උන හැටි, රබර් මෝලේ මැෂිම කරකවන්න දත කාපු හැටි, පාන්දර සීතලේ මිරිකෙමින් කරාබු ගස් අස්සෙ හක්කලන් කරපු හැටි, පොඩි උන් ලෙඩ වෙච්ච වෙලාවට උන් වඩාගෙන පින්දෙනියට හරි කබගමු හරි  බඩ ගාපු හැටි හැමදේම මතක් උනා. ඇහැට කඳුලක් මෝදු උනේ නොදැනීම. පිටිඅල්ලෙන් ඇහැ පිහ දාපු සිරිමල්හාමි හෙමිහිට එළියට බැහැලා ගල් පඩි පෙළ බහින්න ගත්තා. 

 ටික දවසක ඉඳලා සිරිමල්හාමි ට සෙනෙහෙලතාව බලන්න යන්න උවමනාව තිබුනා. දවස් කීපයක් යනකල් ඉස්පාසුවක් තිබුනෙ නෑ . සෙනෙහෙලතා ගෙ දරුවට අකුරු කියවන නැකත යෙදිලා තිබුනේ ඊළඟ සතියේ. එදාටම යනවා කියලා හිත හිත හිටියේ. කිසි දවසක හිත රිදවල නැති ගුණ යහපත් කෙළී, සෙනෙහෙලතා සිරිමල්හාමි ට ආදරෙන් සැළකුවා හැම වෙලාවෙම. 

එදා ටිකක් වැස්ස දවසක්. උදෙන්ම නැගිටල අඩුම කුඩුම ටිකක් එකතු කරගත්ත සිරිමල්හාමි  කුඩයකුත් ඉහළගෙන සෙනෙහෙලතාලව බලන්න එළියට බහින්න හදද්දියි  ආරංචිය ආවේ අමරපාල රෑ බීලා එද්දී ළිඳකොටුවේ ගලක් පල්ලෙ ඇදගෙන වැටිලා ,සිහිය නැතුව ඉඳලා උදේ කිරි කපන්න යන උඩහ ගෙදර කිරිහාමිට හම්බ වෙලා  ..ඒ වෙනකොටත් කට්ටිය එකතු වෙලා පින්දෙනිය ඉස්පිරිතාලෙට අරගෙන ගිහින් කියලා. 
ඒ වෙලාවෙම ගුණපාලත් එක්ක සිරිමල්හාමි පින්දෙනි ඉස්පිරිතාලෙට ගියා. ඒත් සිරිමල්හාමිව අඳුරගන්න පුළුවන් මට්ටමක අමරපාල හිටියේ නැහැ. 

වැටෙනකොට ඔලුව වැදිලා තිබුනේ ගල් තලාවේ. අමරපාලට සිහියක් පතක් නැහැ. ගොඩ ගන්න පුළුවන් වෙයිද කියල කියල විස්වාසයක් තිබුනේ නැහැ. සිහිය ආවොත් කොහොම හරි අමරපාලව බලාගන්නවා කියලා හිතාගෙන සිරිමල්හාමි අරන්දර දේවාලෙට  පඬුරක් ගැට ගැහුවේ ගෙදරට ගොඩ උන ගමන්. 

ඒත් අමරපාල ට තව දුරටත් ජීවත් වෙන්න වාසනාව තිබුනේ නැහැ.  ගෙනාව ආයුෂ ඔච්චරයි කියල හිත හදාගන්න සිද්ද උනා හැමෝටම . අවසන් කටයුතු කෙරුනට පස්සේ ගෙදර ඉතුරු උනේ ගුණපාල විතරයි.

සෙනෙහෙලතා නම් කීවෙම සිරිමල්හාමි ට එයා ළඟට එන්න කියලා. ඒත් ගුණපාල ව තනියම දාලා යන්න හිතක් තිබුනෙ නැහැ.

 මරණෙ කටයුතු ඉවර උනාට පස්සෙ ගුණපාල රිදී හවඩිය බේරලා දුන්නා. ඒත් ආයෙ ඒක අතට ගන්නවත් සිරිමල්හාමි ට ආසාවක් කැමැත්තක් තිබුනෙ නැහැ. ඒක ගුණපාලටම දීලා දැම්මේ පරම්පරාවෙන් ලැබුනු සිහිවටනයක් නිසා රිදී හවඩිය තව කාලයක් ගුණපාල ළඟ තියෙයි කියන බලාපොරොත්තුවෙන්.



Nissanka Rajapaksa

unread,
Jul 30, 2024, 8:20:50 PM7/30/24
to INDRAKA group
21
දත් කැක්කුම


මිසිස් සුගතදාස ඔරලෝසුව දෙස බැලුවේ කීවෙනි පාරට ද කියලා ඇයට ම මතක නැහැ. ඔරලෝසුව දෙස නොබලා වුවත් වෙලාව කීමේ හැකියාව දැන් ඇයට තියෙනවා. කලින් බලද්දී විස්සේ නැවතී තිබූ දිග කටුව යන්තම් විසි තුනට තල්ලුවී තිබුණේ ඉබි ගමනින්. දැන් වෙලාව හතරයි විසි තුනයි. දොස්තර මහතා හමුවීමට වෙලාව දී තිබෙන්නේ හයයි කාලට.

විනාඩි දහයක දුරින් තිබෙන "ඩෙන්ටල් ක්ලිනික්" එකට යන්න හයට ගෙදරින් පිට වුණත් ඇති. ඒත් ප්‍රශ්නනයවී තිබෙන්නේ යනවද... නැද්ද කියන දෙගිඩියාවයි.

මීට මාස කිහිපයකට පෙර සෑදුණු දත් කැක්කුම ගොඩ වෙදකම් කිරීමෙන්ම සුව කරගත්තත් මේ පාර නම් ඒ බෙහෙත් අහන පාටක් නම් නැහැ. සිද්ධාලේප, ටූත් පේස්ට්, දත් කැක්කුමට අලවන ප්ලාස්ටර් ආදී මෙකී නොකී දේවල්වල පිහිට පැතුවත් සුවයක් නොලැබුණු තැන ගෙදර උදව්වට සිටින සුදු මැණිකේ කියූ පරිදි පුවක් නැටි හා මූණමල් පොතු තම්බපු වතුරෙන් දවසට තුන්වරක් කට සේදූවත් පලක් වුණේ නැහැ.

මූණමල් පොතු හොයන්න වුණු මහන්සිය දන්නේ මිස්ටර් සුගතදාස විතරයි. දන්න කියන කිහිප දෙනෙකුට ම පණිවිඩ කියලා කාර්යාලයේ වැඩ කරන හොරණ පැත්තේ ඉඳලා එන කාර්යාල කාර්ය සහයකයෙකු මාර්ගයෙන් තමයි අන්තිමේදී සොයාගන්න පුළුවන් වුණේ. ඒත් ඒකෙනුත් වැඩක් නැතිවූ තැන දත් දොස්තර සහය පතනවා හැර වෙන විකල්පයක් මිසිස් සුගතදාස ට තිබුණේ නැහැ.

එදා ඩල්සී ගේ ගෙදර දවල් කෑමට නොගියා නම් තමන් මෙවන් අකරතැබ්බයකට මුහුණ නොපානු ඇතැයි සිතන විට මිසිස් සුගතදාස ට ඇතිවන්නේ තමන් ගැනම තරහක්. තමන් වාසය කරන නිවාස යෝජනා ක්‍රමයේ ම අනෙක් පස වෙසෙන ඩල්සී කොහොමත්ම මිසිස් සුගතදාසට අල්ලන්නේ නැහැ. තමන්ට විශේෂ වරදක් කර නැතැත් කොණ්ඩය කොටට කපා පාටකර මුළු ඇගේ ම විච්චූරණ එල්ලාගෙන ඉන්න ඩල්සි මගදී හමුවුවත් වචනයක් දෙකක් කතාකරනු විනා වැඩි සම්බන්ධයක් කොහොමටවත් තිබුණේ නැහැ.

දුරකථන ඇමතුමක් දී පහළොස් වෙනිදා දහවල් කෑමට තම නිවසට පැමිණෙන ලෙස සුගතදාස යුවලට ම ආරාධනා කළෙත් ඩල්සි මයි. ඇමරිකාවේ රැකියාවක නියුතු සැමියා නිවාඩුවකට ලංකාවට පැමිණීම මුල් කරගෙන නිවාස සංකීර්ණයේ වෙසෙන සියලුම නිවැසියන් ට ආරාධනා කර තිබුණා. නමුත් මිසිස් සුගතදාස නම් කීවේ වෙන කතාවක්.

" ඔය එන්න කියන්නේ ඒ ගොල්ලන්ගේ ගේ පෙන්නන්න"

ඒත් එම නිවස බැලීමේ වුවමනාව වඩාත්ම තිබුණේ මිසිස් සුගතදාසටය. නිවාස සංකීර්ණයේ තිබූ සුඛෝපභෝගී නිවාස අතර ඉදිරියෙන්ම තිබුණේ ඩල්සි ගේ නිවසයි. රජයේ සේවකයන් වූ මිස්ට සුගතදාසත් මිසිස් සුගතදාසත් වේයන් තුඹස බඳින්නාක් මෙන් මුදල් ලැබෙන ලැබෙන ආකාරයට ගොඩනගාගත් නිවසේ වැඩ අවසන් කලේ සිය එකම පුතු ඕස්ට්‍රේලියාවේ රැකියාවකට ගොස් එවූ මුදල් වලින්.

නමුත් ඩල්සිලා ඉඩම් කැබැල්ල මිලදී ගත්තේ ද මෑතක දී. බලාසිටිය දී ඉහළට එසවුණු නිවස අනෙක් සියළු නිවාස පරදා නැගී සිටී.

දත් කැක්කුම ඉවසා සිටිය නොහැකි තැන කොට්ටය කම්මුලට තබා තද කරගත් මිසිස් සුගතදාස ඇඳේ ඇලවුණේ විනාඩි දහයක්වත් ඇස් පියාගන්නා අදහසිනි. පසුගිය දින කීපයේම ඇහැ පියවුණේම නැත. ඇඟට දැනෙන්නේ ඉමහත් විඩාවකි. ගිය පහළොස්වෙනිදා කෑවායින් පසු බඩට හරි හැටි කෑමක්ද නැත. බොන දෙයක් වුව ද බීමට සිදුවූයේ දතට රහසෙනි. පැණි රස හෝ සීතල යමක් ගැටුණ හොත් රිදුම පැමිණෙන්නේ යට හක්ක හාරාගෙන ය.

විටෙක සිතෙන්නේ අමාරුව ඇත්තේ දතේ නොව හිස් කබල ඇතුළත කියාය. එවිට හිස බිත්තියක වුව ද හප්පා ගැනීමට සිත් වේ. එන්ට එන්නම වම් කම්මුලේ ඉදිමුමද වැඩිවේ. වම් ඇහැද පුංචි වී ඇත. මිස්ට සුගතදාස හෝ මැණිකා යමක් විමසුව ද පිළිතුරු දීමට හිතෙන්නේ නැත. කට ඇර වචනයක් පිටකිරීමට ද මහත් ආයාසයක් දැරීමට සිදුවී ඇත.

පළමුවර දත් කැක්කුම සෑදී සුව වූ පසුව වම් හක්කෙන් කිසිවක් නොහපා සිටීමට පරෙස්සම් වූ මිසිස් සුගතදාස ගේ පරෙස්සම කාලයත් සමඟම ලිහිල් වී ගියේ ඇයටත් නොදැනීමය. එදා ඩල්සීගේ ගෙදරදී ෆ්රුට් කේක් කැබැල්ලක තිබූ රට ඉඳි ඇටයක් නොහැපුනා නම් අද ද දත යහතිනි.

ඒ අවස්ථාවේ දී ඇතිවූ වේදනාව සිහි වන විට දැනුදු හිරිගඩු නැංවේ. ඒ මහ සෙනග අතරේ වේදනාව සඟවාගෙන හිටියේ කෙසේදැ යි දැන් මිසිස් සුගතදාස ට සිතාගැනීමටවත් නොහැකිය. විස්කි බෝතල් වටේ රොක් වී සිටි අය අතරින් මිස්ට සුගතදාසව නැගිටුවාගෙන කෑවායින් නොකෑවායින් ගෙදර දුවගෙන විත් ඇඳේ වැටුණායින් පසුව හරිහැටි කැමක්, බීමක්, නින්දක් නැත.

අද බදාදා. දින තුනක්ම පාසලට යාමට නොහැකි වූයේ මේ කෙහෙම්මල් දත් කැක්කුම නිසාමය. අද වත් මේ දතෙන් නිදහස් වූවහොත් සිකුරාදාට වත් සේවයට වාර්තා කිරීමට හැකි වෙතැයි මිසිස් සුගතදාස සිතුවාය. "ෂෝට් ලීව්" එකක් දමා කලින් ගෙදර එන ලෙස මිස්ටර් සුගතදාසව පොරොන්දු කරවාගත් නමුත් හරියටම දොස්තර මහතා හමුවීමට යනවා ද යන විශ්වාසය එවෙලේ ද තිබුණේ නැත.

බය නොහඳුනන කාන්තාවක ලෙස කා අතරත් ප්‍රසිද්ධ මිසිස් සුගතදාස දත් ගැලවීමට තිබුණේ පුදුම බියකි. කුඩා කල දතක් පිරවීමට දන්ත ශල්‍යාගාරයට ගිය ගමන ඇයට තවමත් බියකරු මතකයකි. අඬුපඬු වලින් හා බෙහෙත් ගන්ධය පිරි ශල්‍යාගාරය මතක්වන විට වේදනාව කොතෙක් තිබුණත් වෛද්‍ය වරයා හමුවීමට යන්නට සිතෙන්නේම නැත.

විටින් විට සෑදුණු දත් රිදුම් ගොඩ වෙදකම් වලින්ම සුව කරගත්තත් මෙවර නම් තමාට දන්ත වෛද්‍ය වරයකු හමුවීමට යාමට සිදුවන බව මිසිස් සුගතදාස ට ස්ථිරය. වෙලාවකට සිතෙන්නේ මේ ඔරලෝසු කටු හිමින් යනවා වැඩිය කියාය. වේදනාව මඳක් අඩුවන විට සිතෙන්නේ තව දවස් දෙක තුනක් යන විට ඉබේම අඩුවී යනු ඇතැයි කියාය.

මිස්ට සුගතදාස ගේ අදහස නම් අදම කරන දෙයක් කර මේ අඬෝවැඩියාවෙන් නිදහස් විය යුතුය කියාය. ඊයේ රාත්‍රියේ ඕස්ට්‍රේලියාවේ සිට කතා කළ පුතු කියා සිටියේද එයමය. වෛද්‍ය වරයා හමුවීමට සියළු කටයුතු පිළියෙල කළේ ද පුතු විසින්ම ය.

ඇඳේ ඇලවී සිටින මිසිස් සුගතදාස සිටියේ දෙලොවක් අතරය. ඉසිලිය නොහැකි වේදනාව වෛද්‍ය වරයා හමුවීමට යන ලෙස පැවසුවත් බය විසින් තව දවස් දෙක තුනක් බලන ලෙස යෝජනා කරයි. පුතා කී පරිදි වෛද්‍ය වරයා පිළිබඳ තොරතුරු ලබාදී ඇත්තේ ඔහුගේ මෙරට මිතුරෙකු විසිනි. මිතුරා කී පරිදි වේදනාව නොදැනෙන ලෙස දත් ගැලවීමට එම වෛද්‍යවරයා නම් දරා සිටින්නෙකි. මවගේ හැටි දන්නා නිසා ගැලපෙන වෛද්‍ය වරයකු සොයාගැනීමට පුතා මහත් වෙහෙසක් ගෙන තිබිණි.

දත ගැලවීමට පෙර හිරිවට්ටන්න විදින බෙහෙතෙන් පසුව කිසිවක් නොදැනෙන බව පැවසුවේ අල්ලපු ගෙදර චිත්‍රාය. නමුත් හිරිවට්ටන බෙහෙත විදීමේදී නම් ටිකක් රිදෙන බව පැවසීමට ද ඇය අමතක නොකළා ය. දැන් මිසිස් සුගතදාස ගේ වැඩි බය තිබෙන්නේ බෙහෙත් විදීම පිළිබදවය. වෙලාව ලංවන්න ළංවන්න මිසිස් සුගතදාසට දැනෙන්නේ තමන්ට උණ වැළඳී ඇති ආකාරයකි.

පහයි තිහ වන විට මිස්ටර් සුගතදාස නිවසට පැමිණි අතර ඒ වන විටත් කොට්ටය බදාගත් මිසිස් සුගතදාස ඇඳේමය. වදෙන් පොරෙන් නැගිටුවාගෙන ඇවිටිලි කර බැරිම තැන අවසානයේ ටිකක් තදින් කතාකළ විට මිසිස් සුගතදාස ඇඟපත සෝදාගෙන ඇඳගත්තාය.

දන්ත ශල්‍යාගාරයට පැමිණෙන විට හය පසුවූවා පමණි. තම පැමිණීම තහවුරු කළ දෙදෙන හිස්ව තිබූ පුටු දෙකක ඉඳගත් අතර මිසිස් සුගතදාසගේ දෙනෙතේ ලියවුණු බිය හඳුනාගැනීමට මිස්ට සුගතදාස ට අපහසු වූයේ නැත.

"මොන ජංජාලයක් කරගනීද දන්නේ නෑ"

හිතින් හිතුවත් මිස්ට සුගතදාස කිසිවක්ම පැවසුවේ නැත.

තමන් ඉදිරියේ ක්‍රියාත්මක වෙමින් තිබූ රූපවාහිනිය දෙස බලාගෙන හිටියත් දෙන්නගෙ ම අවධානයක් යොමුවී තිබුණේ වසා ඇති කාමරයෙන් එන සද්ද බද්ද වෙත. විටින් විට ඇරෙන වැහෙන දොරෙන් යන එන්නන්ගේ හැඟූම් කියවගන්න දෙන්නම උත්සාහ කළා. තම අවස්ථාව කොයි මොහොතේ උදාවනු ඇද්දැයි බලා සිටිනු විනා වචනයක් හෝ කතාකරන්න දෙදෙනාගේම කට ඇරුනේ නැහැ.

හයයි හතලිස් පහ පහුවුණත් මිසිස් සුගතදාසගේ වාරය පැමිණුනේ නැහැ.

"දත් වල වැඩ ඔහොම තමයි හරියට වෙලා යනවා"

තමා ළඟම හිටි කාන්තාවක් ඒ සමඟම හිටි තවත් කාන්තාවකට පවසනු මිසිස් සුගතදාස අහගෙන.

මිසිස් සුගතදාසගේ වාරය එනකොට හතත් පහුවෙලා.රෝගියා පමණක් ඇතුළට ගත් නිසා මිස්ටර් සුගතදාස ට දොර ළඟින් නතර වෙන්න සිදුවුණා. ඒ වෙලාවේ මිසිස් සුගතදාස ගේ මුහුණ දුටු මිස්ට සුගතදාස ගේ හදවත පිච්චුණා.

"මොන පණ්ඩිතකම් තිබුණත් පොඩි ළමයෙක් වගේ"

මිස්ට සුගතදාස ට හිතුණා.

වායු සමීකරණය කර තිබූ ශල්‍යාගාරයට ඇතුළු වීමේදීම මිසිස් සුගතදාස ට දැනුණේ තමන් වෙව්ලන්නාක් බඳු හැඟීමක්. මුව වැස්ම දමාගෙන සිටි වෛද්‍යවරයා දෑසින් සිනාසෙමින් මිසිස් සුගතදාස පිළිගත් අතර ඉඳගන්නා ලෙස පැවසුවේ අභිනයෙනි. රිදෙන දත ඇති පැත්ත ඉදිමුමෙන්ම හඳුනාගත් වෛද්‍යවරයා සහයිකාවට උපදෙස් දුන්නේ උපකරණ සූදානම් කරන ලෙසට ය

පුටුවේ ඇලවී සිවිලිම දෙස බලාගෙන හුන් මිසිස් සුගතදාස ට දැනුණේ තමන් තනිවූවා වැනි හැඟීමකි. බලෙන් හෝ මිස්ට සුගතදාස කැඳවාගෙන පැමිණියානම් කෙතරම් හොඳදැයි ඇයට සිතිනි.

වදෙන් පොරෙන් මෙන් මිසිස් සුගතදාසගේ මුඛය විවර කරවාගෙන දත පරීක්ෂා කළ වෛද්‍යවරයා ප්‍රකාශ කළේ දත හොඳටම නරක්වී ඇති බැවින් දත ගලවා ඉවත් කිරීම වඩා සුදුසු බවය. හිනාවෙන විට නොපෙනෙන තැනක දත ඇති බැවින් දත ගැලවීමෙන් එතරම් හානියක් නොවන බවද වෛද්‍යවරයා පවසා සිටියේ මිසිස් සුගතදාස ගේ හිත හදන්නටය .

දත ගැලවීමට පෙර හිරිවැටීමට දෙන ඖෂධය එන්නත් කිරීමට අවශ්‍ය නිසා සිරිංජරය සූදානම් කරගත් වෛද්‍යවරයා මිසිස් සුගතදාස දෙසට නැඹුරු වීමත් සමගම බිය වූ ඇය පුටුවේ කෙලින් වී වාඩිවූයේ වෛද්‍යවරයාගේ හිසෙහිද හැපෙන පරිදිය.

" බයවෙන්න එපා ... රිදෙන්නේ නැහැ,හාන්සිවෙන්න"

පැවසූ වෛද්‍යවරයා නැවතත් ඖෂධය එන්නත් කිරීමට සැරසුණා පමණි නැවතත් මිසිස් සුගතදාස පුටුවේ කෙලින්විය.

" බයවෙන්න එපා, හාන්සිවෙන්න"

වෛද්‍යවරයා පැවසුවේ මදක් දැඩි ස්වරයකිනි.

කොතෙක් හිත මෙල්ල කරගන්නට හැදුවත් තෙවන වරටත් මිසිස් සුගතදාස පුටුවේ කෙලින්වී වාඩි වූවාය. ඉවසීමේ රතු ඉර මායිමටම පැමිණි වෛද්‍යවරයා

" මේ වැඩේ හරියන්නේ නැහැ, පොඩි ළමයිත් ඔයිට වැඩිය හොඳින් මේකට මූණදෙනවා, කෝ.... හාන්සිවෙන්න"

අතින් තල්ලු කර මිසිස් සුගතදාස පුටුවෙහි හාන්සි කරවූ වෛද්‍යවරයා හතරවැනි වරට ද එන්නත විදීමට සැරසුණා පමණි. මිසිස් සුගතදාස කෑගසාගෙන පුටුවෙහි කෙලින් විය. ඇයගේ හිසෙහි හැපුණු සිරිංජරය විසිවී ගොස් බුමුතුරුණ මත පතිත විය.

කේන්තිය ඉහ වහා ගිය වෛද්‍යවරයා ගේ දකුණු අත මිසිස් සුගතදාස ගේ වම් කම්මුල මත පතිත වූයේ ද එවිටමය. හෙනයක් ගැසුවාක් මෙන් සිදුවූ සිදුවීමෙන් කමිපනයට පත් මිසිස් සුගතදාස පුටුවෙන් බැස දොර දෙසට දුවන්නට වූයේ ළඟ තිබූ උපකරණ කීපයක්ද බිම පෙරළා ගෙන ය.

මිසිස් සුගතදාස කාමරයේ දොර හරින විට ද මිස්ටර් සුගතදාස සිටි ඉරියව්වෙන්ම දොර ළඟ හිටගෙන හිටියේ යමක් සිදුවීමට නියමිත බව කල්තියාම දැනගෙන හිටියාක් මෙනි.මිස්ට සුගතදාසවත් පසුකරගෙන මිසිස් සුගතදාස පඩි පෙළද බැස පාරට දිවගියේ හඬමිනි. මිස්ට සුගතදාස ඇගේ අත් බෑගයත් ඔසවාගෙන ඒ පසුපස දිව ආවේ විමතියෙන්

" මොකද වුණේ? මොකද වුණේ??" යැයි අසමින්.

වදනකුදු නොදෙඩූ මිසිස් සුගතදාස තම කම්මුල සැමියාට පෑවේ ඉකි ගසමිනි. හොඳින් කැපී පෙනෙන පරිදි රතුව ඉදිමුණු කම්මුල මත සටහන් වූ ඇඟිලි පහක සළකුණු මිසක වෙනත් කිසිවක් වටහාගනු නොහැකි වූ මිස්ටර් සුගතදාස ගේ ඇස් වල සටහන් වූයේ විසඳාගත නොහැකි ප්‍රශ්ණාර්ථයකි.


Nissanka Rajapaksa

unread,
Jul 31, 2024, 8:10:21 PM7/31/24
to INDRAKA group
22
වෙසක් සඳ රැස් මැද කුඩා කුරුමිණියා සහ සුපිරි ව්‍යාපාරිකයා

- කැත්ලීන් ජයවර්ධන 

මේ ප්‍රශ්නය හමුවේ දැන් ඔබ පසුවනු ඇත්තේ තක්කු මුක්කු වෙමිනි. එහෙත් මෙතැන දී අලුතින් ම හඳුනාගත යුතු කාරණයක් ද තිබේ. ඒ සොබාදහමේ හෝ දෙවියන්ගේ හෝ අත්වැරදීමකින් එළිදකින අහඹු සවිඥානකත්වයක් මෙන් ම සාක්ෂරතාවක් ද ලබා ඇති කරුමක්කාර තිරිසන් සතුන්, කෘමි සතුන් ද බිලියනයකට එකක් වශයෙන් හෝ මේ මිහිමඩලේ කොතැනක දී හෝ උත්පාදනය වන බව ය. මේ කුරුමිණියා ද එවැනි ය.

පොත් පිටුවකට, පත්තර පිටුවකට ඉඳහිට කඩා වදින කුරුමිණීයකු ගසා බසා දැමීමට බොහෝ විට ඔබ යොමුවන්නේ කුරුමිණියාගේ ආගමනය අහේතුකව සිදුවන්නකියි සිතන නිසා ය. එහෙත් ඔබ නිවැරදි නැත. මේ කුරුමිණියා පත්තර පොත් හරහා හීන්සීරුවේ ඇදී යමින් මහත් වූ උනන්දුවකින් යුතුව යෙදී සිටින්නේ එක්තරා සෝදිසි මෙහෙයුමක ය. සෝදිසි මෙහෙයුමේ අරමුණ වන්නේ කුරුමිණීයන් ඇතුළු කෘමී සතුන් මුහුණ පා සිටින ඒ ඓතිහාසික අසාධාරණය ගැන එක අකුරක්, එක වචනයක් ලියන්නට, එකම එක විදග්ධයකු හෝ එකම එක වතාවකදී හෝ එකම එක පෑන් පාරක් හෝ ගසා ඇද්දැයි නිරීක්ෂණය කිරීමය: සොයාබැලීම ය.

මානව හිමිකම් උත්කර්ෂයට නගන, ඉදහිට සත්ත්ව හිමිකම් ගැන ද නෑසෙන සුලු හඬක් අවදිකරන කිසිවකු කිසිවිටෙකත් කටේ කෙළ බිඳක් පිට නොකරන්නේ, කෘමි හිමිකම් ගැන හෝ කෘමි සතුන්ගේ ජීවිත අයිතිය ගැන ය. සුපිරි ව්‍යාපාරිකයකු අමතන්නට කුරුමිණියා මේ මෙහොතේ යොමුවන්නේ ඒ කෘමි හිමිකම පිළිබඳ හඬක් නැඟීම සඳහා ය.

කුඩා කෘමියාගේ පටන් සද්දන්තයා දක්වා තිරිසන් සතුන් විෂයයෙහි ‘මිනිසා’ නමැති මහබලවතා විසින් මුදාහරිනු ලබන සාහසිකත්වය සම්බන්ධයෙන් ගොනු කළ හැකි චෝදනා පත්‍ර අසීමිත ය. එහෙත් කුරුමිණියා මේ වෙසක් සමයේ මේ ආයාචනය, මේ දුක්ගැනවිල්ල, මේ අවනඬුව කියා සිටින්නේ ධර්මාධිකරණයකට නොව, වසවිස සහිත කෘමිනාශක නිෂ්පාදනයේ හෝ ආනයනය කිරීමේ හෝ යෙදී සිටින සුපිරි ව්‍යාපාරිකයකු වෙත ය.

මල් සුවඳ, හඳුන්කූරු සුවඳ සුළඟට මුසු වෙමින් ඇති මේ සිහිකටයුතු මෙහොතේ කිසියම් වූ මුදුහැඟුමක් වගාදිගා කරගැනීමේ හැකියාව සුපිරි ව්‍යාපාරික මහතුන්ට ද හිමිවනු ඇතැයි කුරුමිණියාට හැගෙයි. මේ වකවාණූවේ අගනුවර ප්‍රසිද්ධ මංමාවත්, වටරවුම්, පහන් කණු, නන්විධ වූ සැරසිලිවලින් විදුලි පහන්වලින් ශෝභමාන කරමින් සිටින්නේ සුපිරි ව්‍යාපාරික මහතුන් වන ඔබම ය. මේ සැරසිලි අතරේ මෛත්‍රීය කරුණාව, මුදිතාව, උපේක්ෂාව ගැන මෙන්ම පාණාතිපාතා විරමණ ශික්ෂා පදය ගැන ද ආලවට්ටම් සහිතව ලියැවුණු ආකර්ෂණීය දහම් පාඨ ද චාරු අකුරින් ඇදී තිබේ. ඉතින් මේ සිහිකටයුතු අවස්ථාව කුරුමිණීයා විසින් යොදා ගනු ලබන්නේ ඔබ නිෂ්පාදනය කරන, නැතහොත් ආනයනය කරන කෘමිනාශකයන්හි සිදුකළ යුතු වෙනස්කමක් ගැන යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා ය.

උකුණු හිසකට නොවැඩි මේ කුරුමිණි මොළයට හැගෙන දැනෙන ආකාරයට නම් ‘වෙසක්’ යැයි කියන්නේ බුදුන්වහන්සේ ගේ උත්පත්තිය, බුද්ධත්වය හා පරිනිර්වාණය යන තෙමගුල සැමරීමට ය.

තෙමගුල අතරිනුත් අතිවිශේෂ වන්නේ ‘බුද්ධත්වය’ යැයි මේ කුරුමිණි මොළයට ද හැගෙයි. ඒ උන්වහන්සේගේ උත්පත්තියට හා පරිනිර්වාණයට වඩා වැදගත් වන්නේ උන්වහන්සේ දෙසූ සර්වකාලීන, සාර්වභෞමික ධර්මයම යැයි කුරුමිණීයාට සිතෙන නිසා ය.

‘යමෙක් ධර්මය දකී ද හේමා දකී’ යන බුදු වදන මුද්‍රණය කළ බැනර රාශියක් මං සන්ධියක් ගානේ එසවී ඇත්තේ ද සුපිරි ව්‍යාපාරිකයකු වූ ඔබගේ අනුග්‍රහයෙනියි කුරුමිණියා දැන සිටියි. කෙසේ වුව ද මැනවින් ම පෙනීයන සුපැහැදිලි කරුණ වන්නේ මේ කුඩා දිවයිනට වචනවලින් නම් කිසි අඩුවක් නැති බව ය. අඩුව පවතින්නේ සිතුවිලිවල ය. ක්‍රියාවන්හි ය.

කුරුමිණියකුට, කුරුමිණි අඬුවලින්, කුරුමිණි අත්අකුරින් පාණාතිපාතා විරමණ ශික්ෂාපදය ගැන ලියන්නට සිදුවීම දෛවයේ සරමදක් දැයි සිතෙයි. එය ඛෙදජනක කරුණකට ද වැඩියෙන් හාස්‍යජනක කරුණකියි ද හැඟෙයි.

බුදුදහම පරපණ නැසීමට සම්පුර්ණයෙන් විරුද්ධ බව ප්‍රකට කරුණකි. ‘ප්‍රාණ' ශබ්දයෙන් මනුෂ්‍ය ප්‍රාණයත්, සත්ත්ව ප්‍රාණයත් යන ප්‍රාණ දෙකක් අදහස් කොට ඇති බවත්, පණ ඇති අය හැඳින්වීම සඳහා පාලි ත්‍රිපිටකය තුළ උපයෝගි කරගෙන ඇති ‘පාණ’ ‘භූත’ සහ ‘සත්ත’ යන පද තුන පිළිබඳවත් කුරුමිණියාට වඩා හොඳින් දැන සිටින්නේ මනුෂ්‍යයන් වන ඔබ ය. ඒ මේවා නිරතුරුවම ගිලිහී යන්නේ ඔබේ දෙතොලතරින් වන නිසා ය. සුත්ත නිපාතයේ මෙත්ත සූත්‍රය ඔබට ඉතා හොඳින් කටපාඩම් වූවකි.

එහෙත් ....? පුදුම සහගත කාරණය වන්නේ නිතර දෙවෙලේ මෙත්ත සූත්‍රය සජ්ඣායනය කරන ඔබ, කුඩා කෘමියාගේ පටන් සද්දන්තයා දක්වා වන සියලු තිරිසන් සතුන් කෙරෙහි සිතා හෝ නොසිතා මුදාහරින සාහසික කෲරත්වයයි.

ලෝක නිර්මාණය ස්වයංසිද්ධ වුවක් වේවා දෙවියකුගේ නිර්මාණයක්ම වේවා මුළුමහත් ලෝකයම සිය බුක්තියට සවිකර ගෙන සිටින්නේ ඔබ ය. ලෝකයේ ජීවීඅජීවි සැමදෙයක්ම නිර්මාණය වී ඇත්තේ ඔබ සඳහා ය- ඔබගේ පරිභෝජනය සඳහා යැයි ඔබ සිතයි.

ඒ අනුව සියලු තිරිසන් සතුන්, කෘමි සතුන් උත්පාදනය වී ඇත්තේ එක්කෝ ඔබගේ රසදිව පිනවීම සඳහා ය. නැතහොත් ඔබේ සුව පහසුව සඳහා බුරුතු පිටින් ඝාතනය වීමට ය.

කෙසේ වුවත් අනුන්ගේ මස් කන්දක් කුස දරා සිටියදී ද ඔබ කුඩා සතුන්ට, සද්දන්තයන්ට මෙන්ම උපන්, නූපන් පෙනෙන නොපෙනෙන සියලු සතුනටම මෙත් වඩයි. වචනවලින් නම් ඔබ ළඟාවි සිටින්නේ දේවත්වයට ය. එහෙත් සිතුවිල්ලට අරා සිටින්නේ යක්ෂයෙකි.

කෙසේ හෝ මේ ලෝකයේ කෘමිසතුන් යැයි කියන්නේ කුකුළන්, ගවයන්, ඌරන් එළුවන් තරමටම, ඇතැම් විට ඊට ද වැඩියෙන් මරණය නැතහොත් ඝාතනය උරුම කරගෙන උත්පාදනය වූවනට ය. ‘ඝාතනය එපා’ යැයි අප උද්ඝෝෂණය නොකරන්නේ එය පුස් වෙඩිල්ලක් තරමේ හෝ හඬක් නොනගන බව අපට නිසැක නිසා ය.

මරණය නරක නැත. ඝාතනය ද නරක නැතැයි සිතන්නට දැන් දැන් අපි හුරුව සිටිමු. එහෙත් විඳවීමකින් තොරව ඝාතනය වීමේ හැකියාවක් අවකාශයක් අපට විවර විය යුතු යැයි ද අපි විශ්වාස කරමු.

කෘමිනාශක නිෂ්පාදනයේ, ආනයනයේ යෙදී සිටින ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික මහතකු ඇමතීමට අප යොමුවන්නේ මේ ගැන යම් මතක් කරදීමක් කිරීමට ය.

කුරුමිණීයාගේ මේ වුවමනාව, වන්නේ කෘමිනාශකයන්හි සැර බාල කරගැනීම යැයි දැන් ඇතැම්විට ඔබ උපකල්පනය කරනු විය හැකි ය. එහෙත් කුරුමිණියා ඉල්ලා සිටින්නේ එහි අනිත් පැත්ත ය. එනම් කෘමිනාශකයන්හි විෂ මාත්‍රාව තීව්‍ර කරදෙන ලෙස ය. සුවදායී ක්ෂණික මරණයක් පිළිබඳ මේ බැගෑපත් ඉල්ලිම මුලින්ම හැඬුකඳුළින් යුතුව ඉදිරිපත් කළේ කුරුමිණියාගේ සන්මිත්‍ර කැරපොත්තා ය. කෘමිනාශක ප්‍රහාරයකින් දැවී යමින් සිටි කැරපොත්තාගේ අන්තිම වචන එලෙසින්ම සටහන් කර තබන්නේ ඔබේ අවබෝධය පිණිස ය.

අනේ, ඉතිං අපට හිතහදාගෙන මැරිල ගියහැකි අපේ පොඩි උනුත් එකසැරේට මැරිලයනව නං. පොඩිඋන්ගෙ මළසිරුරු අපිව මේ තරම් කම්පාවට පත් කරන්නෙ නෑ. අපට දරාගන්නට බැරි උන්ගේ දැවිල්ල. වේදනාව. කිරි සප්පයො එහේ දුවනවා. මෙහේ දුවනවා. ඒ දැවිල්ල ඒ ගින්න අපට දැනෙන්නෙ දෙගුණ වෙලා. උං මොනතරමක් නං දඟලනවයි කියලද? කොච්චර වෙලාවකට පස්සෙ ද උන්ට මරණයේ සැනසීම ලැබෙන්නෙ?

‘පින්’ ‘පව්’ නැතහොත් ‘පුණ්‍ය කර්ම’ හා පාප කර්ම ඔබ හඳුනා සිටින ආකාරය ද කුරුමිණියාට නම් තරමක් අමුතු ය. ක්ෂණික ඝාතනයක් සිදු කිරීමේදී ලැබෙන පලවිපාකවලට වඩා අඩුවෙන් පලදෙන්නේ ටිකෙන් ටික, අනුක්‍රමිකව මරාදැමීම යැයි ඔබ සිතා සිටියි. යටත් විජිත යුගයේ මේ දිවයිනට පැමිණ සිටි ඇතැම් සුදු ජාතික දඩයක්කරුවන් අලි ඇතුන් ඝාතනය කළ ආකාරය ඔබ හඳුනා සිටින්නේ බරපතළ පාපක්‍රියාවක් ලෙසිනි. දඩයමේදී ඔවුන් මුලින්ම කරන්නේ ගලක් ගසා හෝ වෙනත් ආකාරයකට හෝ සත්ත්වයාගේ මුහුණ තමා දෙසට හරවාගැනීම යැයි කුරුමිණීයා අසා තිබේ. ඉනික්බිතිව ඔව්හු හරියටම, ඍජුවම එල්ලය අල්ලා එක උණ්ඩයකින්ම සත්ත්වයා බිම හෙළති. මේ දඩයක්කරුවන්ට තවමත් ඔබ කියන්නේ ‘පව්කාරයා’ යි කියා ය. ඉතින් දැන් පව්කාරයින් නොවන්නෝ ද ඝාතනයේ යෙදෙති.

උගුරට හොරා බෙහෙත් කෑමක් වැනි වූ මේ ක්‍රමෝපාය සඳහා ඇතැම්විට ඔවුන් භාවිතයට ගන්නේ මන්දකි: නැතහොත් හක්කපටස් උගුලකි: එසේත් නැතහොත් විදුලිය කාන්දුවකි. මේ හැම ප්‍රවේශයක්ම සතුනට පමුණුවන්නේ දැඩි වේදනා ය. තුවාලවීමෙන්, තුවාල කුණුවීමෙන් සතුන් මියැදෙන්නේ දින ගණනක් මු`ඵල්ලේ අපා දුක් විදීමෙන් පසුව ය.

පින් පව් ගැන මිනිසුන්ට අලුතින් කියාදෙන්නට කුරුමිණියෙකුට බැරි ය. කුරුමිණියා මේ අදහස් දක්වන්නේ පොතේ හැටියට ද නොවේ. හිතේ හැටියට ය. කෙසේ වුවද 'මනො පුබ්බංගමා ධමමා - මනෝ සෙට්ඨා මනොමයා' යනුවෙන් ධමම පදය, යමක වර්ගයේ ආරම්භක ගාථාව කියන්නේ සිතේ ඇති වන ගතීන් සිත පෙරටුකොට පවතින බව ය. මේවා ඇත්තේ සිතා බලන්නට විමසා බලන්නට මිස සජ්ඣායනා කරමින් එක තැන රැදී හිස් බැල්මෙන් බලාසිටින්නට නොවේ.

ඔබේ සැපත ඔබේ සුවසහනය ඔබේ පහසුව සඳහා කෘමිසතුන් ඝාතනය කළ යුතුම යැයි ඔබ සිතන්නේ නම් ඉතා අඩු තරමින් ක්ෂණික, සුවදායී මරණයක් හෝ ඔවුනට අත්පත් විය යුතු බව තේරුම් ගන්නට ඔබට සිදුවෙයි.

රථරෝදය යන්නේ ගැල අදින ගොනාගේ පය අනුව ය. මෙය බුදුන් වහන්සේගේ නීතියක්, නියමයක් හෝ විධානයක් නෙවේ. ඒ වූ කලී සොබාදහමේ නීතියයි.

බුදුදහම කියන්නේ සොබාදහම විනිවිද දැකිය හැකි අන්වීක්ෂයකටය යන්න කුරුමිණියාගේ නිගමනයයි.

කෙසේ වුවද මෙහි ප්‍රස්තුත කාරණය හෙවත් සුවදායක ‘ක්ෂණික මරණය’ සම්බන්ධයෙන් බුදුදහමේ ස්ථාවරය ගැන කුරුමිණීයා ටක්කෙටම දැන සිටින්නේ නැත. එහෙත් බුදුන් වහන්සේ යැයි කියන්නේ නීති සම්පාදකයකුට වත් නීති පනවන්නෙකුට වත් අණ දෙන්නකුට වත් නොවන බව නම් කුරුමිණියාට විශ්වාස ය.

සුවදායී ක්ෂණික මරණයක් ගෙන එන ඝාතනයක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් වුවද කවර ආකාරයේ හෝ බලපෑමක් කිරීමට බුදුන්වහන්සේ ට කිසිදු වුවමනාවක් නොවන බව කුරුමිණියා තරයේ විශ්වාස කරයි. රූං ගා පියාඹගෙන යන කුරුමිණියාගේ දුර ගමන් අතරතුර කළුතර බෝධියට හෝ මාතර බෝධියට හෝ වෙන කුමන බෝධියකට හෝ පඬුරක් දමන්නට බැරිවීම ගැන බියක්, සැකයක්, පශ්චාත්තාපයක් කුරුමිණියා තුළ හටනොගන්නේ ද ඒ නිසා ය. මෙය ඉල්ලාගෙන කෑමක් ලෙස මෙන්ම පාපකර්මයක් ලෙස ද හැඟීයනු ඇත්තේ මනුෂ්‍යයන් වන ඔබට ය.

එහෙත් මෙහි ආශිර්වාදාත්මක බව, සුව සහනය ඒත්තුගෙන සිටින්නේ කෘමි සතුන් වන අපම ය. පුණ්‍යකර්මය හා පාපකර්මය තීරණය වන්නේ ඒ ඒ සත්වයා රැඳී සිටින තලයට අනුකූලව ය. මේවා වචනයෙන් පැහැදිලි කිරීම පහසු ද නැත.

ඇතැම් විට ඔබ කෘමිනාශක වෙළෙන්දකු විය හැකි ය. කෘමිනාශක ආනයනය කරන්නෙක් විය හැකි ය.

මහ පරිමාණයෙන් කෘමිනාශක ලොව පුරා බෙදාහරින බහුජාතික සමාගමක නියෝජිතයෙක් හෝ කෘමිනාශක ප්‍රවර්ධනය කරන්නෙක් හෝ විය හැකි ය. එසේ නම් මේ ඇමතුමේ ඉලක්කගත පුද්ගලයා වන්නේ ඔබ ය, මෙය ඔබ වෙත යොමුකෙරෙන්නේ පොදු වශයෙන් කිසිවකුගේ දයානුකම්පාව කෙසේ වෙතත් අවධානය හෝ නොලබන අවාසනාවන්ත කෘමි සතුන්ගේ පොදු ගැටලුවක් අරබයා ය. විශේෂයෙන් ඒ කැරපොත්තාගේ ආයාචනය සලකා බැලීම සඳහා ය.

මෙයට,

විශ්වාසී

කුරුමිණියා

Nissanka Rajapaksa

unread,
Aug 1, 2024, 7:18:53 PM8/1/24
to INDRAKA group
23
මව සහ දියණිය 
 සිංගප්පූරු ජාතික ලේඛිකා ඇමැන්ඩා චොං 
('What the modern woman wants' නමැති 2004 වර්ෂයේ පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් අතර වාර්ෂික සාහිත්‍ය නිර්මාණ තරගාවලියේ  ප්‍රථම ස්ථානය)

පරිවර්තනය සුනිලා විජේසිංහ 

මහලු කාන්තාව තම දියණියගේ මෝටර් රථයෙහි පසුපස අසුනෙහි වාඩි වී සිටියා ය. එය තද දම් පැහැයෙන් යුත් වහලය හා ජනෙල් අකුලා දැමිය හැකි ආකාරයේ නවීන පන්නයේ රථයක් විය.

එකී රථය මහාමාර්ගයෙහි වේගයෙන් ඇදී යමින් තිබිණි. අධික වේගය නිසා රිය පැත්තකට ඇලවෙද්දී මහලු කත තම උකුළ මත වූ ප්ලාස්ටික් බෑගය දැඩිව ග්‍රහණය කොට ගත්තා ය. සුළඟ විසින් එය පැහැරගෙන යනු ඇතැයි ඇය බියපත් වූවා සේ ය. මේ තරම් වේගයෙන් ගමන් ගොස් ඇයට පුරුද්දක් නැත. වෙවුලන දෑතින් ඈ තම අසුනෙහි පටිය වඩාත් තද කොට ගත්තාය. ඇය එසේ කළේ තම රළු අතැඟලි විශේෂ වූ සම් වර්ගයකින් නිමවන ලද රිය අසුනෙහි නොගැටෙන්නට වග බලා ගනිමිනි.

තම රථය අපිරිසිදු නොකරන ලෙසට දියණිය ඇයට කලින්ම අනතුරු අඟවා තිබුණා ය.

“ඇඟිලි සලකුණු සුදු පාට ආසනවල වැදුනාම කැතට පේනවනෙ අම්මා.”

රියැදුරු අසුනෙහි සිටියේ මහලු කාන්තාවගේ දියණිය ‘බී චූ’ ය.

රිය පදවන අතර ඇය තම මටසිලුටු රිදී පැහැ ජංගම දුරකතනයෙන් කාටදෝ කතා කරමින් සිටියා ය. ඇය කතා කළේ මහා බරපතළ වචන ය. මහලු මවට ඒ බොහෝ වචන හරිහැටි තේරුණේ නැත.

‘ගනුදෙනු මිල මුදල්, දේපළ ආයෝජන...’

ඇගේ කතාව චතුර විය. වැදගත් හා නැවුම් රිද්මයකින් ද යුක්ත විය.

දියණිය හරියට රූපවාහිනි තිරයේ එන විදේශීය ගැහැනු ළමයකු මෙනැයි අම්මාට සිතුණි. ඇය ඉංග්‍රීසි කතා කළේ ද ඇමරිකානු ශෛලියට ය.

මහලු මව තම දිවෙන් හඬක් නැගුවේ ඒ කෙරෙහි ඇතිවූ අප්‍රසාදයෙනි.

“ඇත්ත වශයෙන්ම මට මේක තියාගන්ඩ බෑ, විකුණන්නයි ඕන.”

දියණිය කලහ කරන්නාක් මෙන් තදින් ප්‍රකාශ කොට, ඇක්සලේටරයට පය තැබුවාය.

ඉතා සුරුවමට සැකසූ නිය සහිත ඇගේ අතැඟිලි සුක්කානමෙහි ගැටී තිබුණේ නොරිස්සුම් ගතියකිනි.

“මට බෑ තවත් නම් මේ ගනුදෙනු ගැන කතා කරන්ඩ”

දොස් පවරන විලාසයෙන් පැවසූ දියණිය වහා තම ජංගම දුරකථනය විසන්ධි කොට පිටුපස අසුනට විසිකළේ අමනාපයෙනි. පිටුපස අසුනෙහි සිටි මහලු කාන්තාවගේ නලළෙහි වැදුණු දුරකථනය අනතුරුව නිහඬව ඇගේ උකුල මතට ඇද වැටුණි.

ඇය ඉතා සන්සුන්ව එය අහුලා තම දියණිය අතට දුන්නා ය.

“කනගාටුයි අම්මේ” ඇමරිකානු ශෛලිය මඳකට අමතක කොට දියණිය මැන්ඩරින් ශෛලියෙන් කතා කළාය.

“මට ලොකු අනුග්‍රාහකයෙක් ඉන්නවා ඇමරිකාවේ. එයත් එක්ක ප්‍රශ්න හරියට.”

මහලු කාන්තාව හිස වැනුවේ කිසියම් දෙයක් අවබෝධ කරගත්තා සේය. ඇගේ දියණිය රාජකාරි බහුල, වැදගත් කාන්තාවකි.

“බී චූ” තම රියෙහි පසුපස බලන කණ්ණාඩිය තුළින් මව දෙස බැලුවා ය. ඇය කුමක් සිතමින් සිටිනවා දැයි ඇයට සිතාගත නොහැකි විය.

රැලි වැටුණු ඒ මුහුණෙහි හැම විටම දකින්නට ලැබුණේ ඒකාකාරී හා ගුප්ත වූ හැඟීමකි. දුරකථනය නැවතත් නද දෙන්නට පටන් ගත්තේය. ගැඹුරු වූ නිශ්ශබ්දතාව බිඳිමින් එයින් මතුවූයේ කෘත්‍රිම, ප්‍රීතිමත් වූ තාලයකි.

“හෙලෝ බියටි්‍රස්! ඔව්; මේ එලයිනී.”

මහලු කාන්තාව තවත් හැකිළී ගියා ය.

මං දැනගෙන හිටියේ නෑ, එයාගෙ ඒ නම; එලයිනී, ඉංග්‍රීසි නමක් අන්තර්ජාලය තුළදී ඉතා වැදගත් වන බව වතාවක් තම දියණිය පැවසූ බව මහලු මාතාවට සිහිපත් විය.

“කමක් නෑ චීන නම් ඉක්මනින්ම අමතක වෙනවනෙ.”

“අනේ නෑ, අද මට දවල් කෑම වෙලාවෙදි ඔයා මුණගැහෙන්නට විදියක් නෑ, මට අර පරණ කෞතුක වස්තුව දේවස්ථානෙට ගෙනියන්න තියෙනවා. එයාගෙ අර අරුම පුදුම දෛනික යාච්ඤා මෙහෙයට.”

දියණිය තවදුරටත් ජංගම දුරකථනයේ ය.

“පරණ කෞතුක වස්තුව.”

ඒ තමා හඳුන්වන්නට භාවිත කළ නමක් බව මහලු මව ඉතා හොඳින් තේරුම් ගත්තාය.

දියණිය හැමවිටම අම්මාගේ නිහඬතාව තේරුම් ගත්තේ, ඇය එවැනි අවස්ථාවන් ‘අවබෝධ කර නොගත්’ ලෙසටය.

“ඔව් බියටි්‍රස් මං දන්නවා; මගේ කාර් එකේ සීට් හඳුන්කූරු නිසා ගඳ ගහවි.”

මහලු කාන්තාව ඇගේ තොල්පෙති තදින් හකුළා ගත්තාය මෙවර ඈ දෑතින්ම ප්ලාස්ටික් බෑගය තරව අල්ලාගත්තේ තම ආරක්ෂාව සලසා ගැනීමට මෙනි.

කාරය ඉතා පහසුවට වංගුවක් ගෙන දේවස්ථාන මිදුලට ඇතුළු විය.

මහලු මව පසුපස අසුනින් බැස්සා ය. අනතුරුව ඉතා සෙමෙන් ප්‍රධාන ශාලාව දෙසට ඇවිද ගියාය. ඇගේ දියණිය ව්‍යාපාරික ඇඳුම් කට්ටලයෙන්ම කාරයෙන් බැස තොල් ආලේපනය අලුත් කරගත්තාය.

“අම්මා මං පිට පැත්තෙන් ඉන්නම්. මට වැදගත් ටෙලිෆෝන් පණිවුඩයක් ගන්ඩ තියෙනවා.”

හඳුන්කූරු දුමෙහි කටුක ගන්ධය කෙරෙහි තමා තුළ ඇති පිළිකුල සඟවන්නට වෙහෙස නොගනිමින් ඇය එසේ කීවාය.

මහලු කාන්තාව දේවස්ථානය තුළට ඇවිද ගියේ නොන්ඩි ගසමිනි. එහි ගිය විගස ඇය පළමුව කළේ හඳුන්කූරක් දැල්වීම ය. අනතුරුව නිහඬව දණ බිම ඔබා ගෙන දෙවිඳුන් උදෙසා කරන තම හුරු පුරුදු දෛනික යාච්ඤාව කොඳුරන්නට වූවා ය.

“ආකාසයේ නිවස්නා දෙවියනි, ඔබට ස්තුතිවන්ත වේවා! ගෙවී ගිය අවුරුදු ගණනාවක් පුරා ඔබවහන්සේ මගේ දියණියට වාසනාව ලබා දී ඇත්තේ ය. මා යාච්ඤා කළ පරිදි ඔබ ඈ වෙත බොහෝ දේ ලබා දී ඇත්තේය. සාමාන්‍යයෙන් මේ ලෝකයේ තරුණ කාන්තාවකට අවශ්‍ය වන සෑම දෙයක්ම ඈ හට ලබා දී ඇත්තේ ඔබ වහන්සේ ය.

දැන් ඇය සතුව පිහිනුම් තටාකයක් ද සහිත විශාල නිවසක් ඇත. උයන්නට හා මහන්නට අදක්‍ෂ වූ ඇයට උදව්වට සේවිකාවක් ද සිටී. ඇගේ ආදරයට ද ආශිර්වාද ලැබී ඇත්තේ ය. පොහොසත් හා කඩවසම් තරුණයකු සමඟ ඇය විවාහ ගිවිසගෙන ඇත්තී ය.

දැන් ඇගේ ව්‍යාපාරික ආයතනය ඉහළ පෙළේ වෙළෙඳ සමාගමකි. පුරුෂ පක්‍ෂයේ උදවිය පවා ඇගේ උපදෙස්වලට හොඳින් ඇහුම්කන් දෙති. ඇය සරුසාර ජීවිතයක් ගත කරයි.

දෙවිඳුනි, සතුට හැරෙන්නට අන් සෑම දෙයක්ම ඔබවහන්සේ විසින් ඇය හට ලබා දී ඇත. ජයග්‍රහණයේ අස්වැන්න නෙළද්දී ඇගේ මුල් ඇයට අහිමිව තිබුණ ද සියලු දෙවිවරුනි, ඇයට අනුකම්පා කළ මැනව.

“ඔබ දකින දේ සත්‍යයම නොවේ. ඇය මට හොඳ දියණියක්. ඇගේ විශාල නිවසේ කාමරයක් මට ලබාදී තිබෙනවා. මට අවශ්‍ය දෑ ඇය සපයා දෙනවා. මා ඇගේ සතුටට අනිසි බලපෑම් ඇති කරන විටයි, ඇය මට නපුරුවෙන්නේ. හැබෑවටම තරුණ කාන්තාවකට ඇගේ මව විසින් බාධා කළ යුතු නෑ. ඒක මගේම වැරැද්ද.”

මහලු කාන්තාව හැඟීම්බරව දෙවිඳුන් යදිද්දී ඇගේ ඇස්වලින් කඳුළු උතුරා හැලුණි. අවසානයේදී ඇය අඩක් දැවී ගිය හඳුන්කූර අළුවලින් පිරීගිය පුකුරුව තුළ සිටුවූවා ය.

මේ මහලු මාතාව ඇගේ දියණිය වෙනුවෙන් වසර තිස් දෙකක් තිස්සේ දෙවියන් යදිමින් සිටින්නී ය.

එකල කුස දරුබරින් පිරී පුහුල් ගෙඩියක් සේ රවුම් වී තිබියදීත් ඇය දේවස්ථානයට පැමිණියා ය. ඇය ප්‍රාර්ථනා කළේ උපදින්නා පුතෙක් වේවා කියා ය.

එහෙත් කාලය පිරිපුන්ව ඇගේ ගර්භාෂයෙන් පිටතට ලිස්සා ආයේ තරබාරු කලවා සහ රෝස පැහැති කම්මුල් සහිත දූ සිඟිත්තියකි. ඇගේ ස්වාමි පුරුෂයා ඇයට තරවටු කළේය; පහර දුන්නේය. ඒ, වැඩ කළ නොහැකි, පවුලේ නම ගෙන යා නොහැකි අප්‍රයෝජනවත් ළදැරියක බිහිකළා යැයි රොස් පරොස් පවසමිනි.

එහෙත්, ඇය අලුත උපන් කුඩා දැරිය සරමකින් බැඳ ඉණෙහි රඳවාගෙන දිගටම දේවස්ථානයට ගියාය. දියණිය හොඳින් හැදී වැඩී අවශ්‍ය සියලු දේ ඇයට හට ලැබේවා’යි මව නිරන්තරවම දෙවියන් යැද්දා ය.

සැමියා ඇය හැර දමා ගියේය. තම දියණියට කිසිදාක පිරිමියෙක් මත යැපෙන්නට සිදු නොවේවා යැයි ද ඇය ප්‍රාර්ථනා කළාය. යාච්ඤා කළාය.

තම දියණිය යම් දවසක නූගත්කම නිසා තමාට කිසිදා ළං විය නොහැකි වූ ආකාරයේ උදාර තත්ත්වයක සිටින ගැහැනියක විය යුතු යැයි ඇය නිබඳව ම පැතුවා ය.

‘තමා කළ යුතු යැයි සිතාගත්, අධිෂ්ඨාන කරගත් සියල්ල එලෙසින්ම ඉටුකර ගැනීමේ හැකියාව ඇති ගැහැනියක්!

‘පිරිමින්ගේ හදවත් තුළ ඈ පිළිබඳ ගෞරවයක් ජනිත කරවිය හැකි ගැහැනියක්! කතාකරන්නට මුව විවර කළ විට මිනිසුන් සවන් දෙන අගනා මුතු වදන් ඇදහැලෙන ගැහැනියක්! ඇය මා වන් කෙනෙකු එනම් දියණිය තමාගෙන් දුරස්ව යනු දකින අම්මා කෙනෙක් විය යුතු නැත.

ඇය තම දියණියගේ වෙනස්වීම දෙස බලා සිටි අයෙකි. නිහඬ දැරියකව සිටි ඇය පසුව තම මව පැරණි කාලයේ ගැහැනියක ලෙස විවේචනය කරන තත්ත්වයට පත්ව සිටියා ය. ඇයගේ වුවමනාව වූයේ තම මව නවීන පන්නයේ ගැහැනියක් වනු දැකීමයි.

දැන් ඇයගේ දියණිය දක්‍ෂයෙකි. ඇගේ අඛණ්ඩ යාච්ඤාවලට දෙවියන් වහන්සේ හිතෛෂීවන්ත වී ඇත. නමුත් සතර අතින් ගලා ආ ධනය හා ජයග්‍රහණයන් විසින් ඇගේ මුල් වළ දමනු ලැබ ඇත.

ඇය දැන් සිටිනුයේ නියම මුහුණුවරක් නොමැතිව ය. සැබෑ අනන්‍යතාවක් නොමැතිව ය. ඇයගේ මුතුන් මිත්තන් සතුව තිබූ පස හා ඇය අතර ඇති සම්බන්ධතාව දැන් ඉතා සියුම් නූල් කැබැල්ලක් තරම් වේ.

දියණිය මවගේ වටිනාකම් අමතක කොට දමා ඇත. ඇගේ අවශ්‍යතා ඉතා ක්‍ෂණිකය. ධනය, බලය, මෝස්තරවලට නැඹුරුවීම හැරුණුකොට ඇයට සැබෑ සතුට හමු වී නොමැත. මහලු මව දේවස්ථානයේ ගේට්ටුවෙන් පිටත බැලුවා ය. දියණිය දුරකථනයේ ය. ඇයගේ ඇහි බැමි තරහවෙන් හැකිළී ගෙනය.

දියණිය සිටින තැනට එනම් පහළට යෑම වඩා සුදුසුය. මහලු මාතාව ප්‍රවේශමෙන් ප්ලාස්ටික් බෑගය විවර කළාය. සුවඳ කැට පැකැට්ටුව අල්තාරය ඉදිරියේ විසුරුවා හැරියා ය.

පෝසිලේන් දෙවිවරුන් වන්දනාමාන කිරීම පිළිබඳ දියණිය නිතර තම මවට සමච්චල් කළාය.

සැබෑය. ඇය ඔවුන්ට කෙලෙස යාච්ඤා කරන්නද? ඇගේ ආධාරය පිණිස සෙරමික් කැබලිවලට පියාඹා යා හැකි යැයි ඇය කෙලෙස බලාපොරොත්තු වන්නද?

එහෙත් ඇයට ඇයගේම දෙවිවරු සිටියහ. ඇය යටත් කොටගෙන ඇති ධනයෙහි ප්‍රතිමාවන්හි බලය සහ ජයග්‍රහණය ඇය සැමදා වන්දනාමාන කළාය.

දිනපතා කෙරෙන මේ ප්‍රතිමා වන්දනාවන් නිසා අවසානයේදී මහලු මවට නම් කිසිවක්ම ඉතිරි වී නැත්තා සේය. දියණියගේ අවශ්‍යතා මගින් හීන් සීරුවේ මවගේ ජීවිතය උරා බී අවසන ඇය ඉවත දමා ඇත. අල්තාරය ඉදිරියේ දැන් සිටිනුයේ ආත්මය රහිත හිස් කටුවක් පමණකි.

මාතාව මොහොතක් හඳුන්කූර දෙස බලා සිටියා ය. ඒ උදාසීන උෂ්ණත්වය, එහි දුඹුරු පැහැ පත්ල පමණක් ඉතිරි කරමින් හඳුන්කූර දවා හමාර කොට තිබුණි. දැන් එය පුපුරා හැලෙන්නට ආසන්නය.

තම චාරිත්‍රයේ අවසාන වතාවත ඉටුකරන්නට නැගෙනහිර දෙසට හිස නවා ආචාර කළ මහලු මව දේවස්ථානයෙන් සමුගැනීමේ වේදනාවට මෙන් දිගු සුසුමක් හෙළුවා ය. ඇයට තම දියණිය මුණගැසුණේ දේවස්ථාන භූමියෙන් පිටතදී ය. තැති ගැන්මක්, කනගාටුවක් යන්තමින් ඇඳී තිබුණ ද දියණියගේ මුහුණේ පෙනුම පෙර පරිදිම විය. එක අතකට එහි හිස් ම හිස් හැඟීමක් විය.

ඇයට වුවමනා වී තිබුණේ එකම එක දෙයකි. ඒ අවශ්‍යතා නමැති පස පෝරු ගා සතුටේ බීජ වපුරන්නට පමණකි.

දෙදෙනා නිහඬවම රථයට ගොඩ වූහ. දියණිය අධිවේගී මාර්ගය දිගේ මෙවර රථය පදවාගෙන ගියේ පෙර පරිදි අධික වේගයකින් නොවේ.

“අම්මා” බී චූ අන්තිමේදී මව ඇමතුවා ය. “මං මේක කොහොම කියන්ඩද මන්දා. “මාක්” එක්කත් මං මේ ගැන ගොඩක් කතා කළා. අපි සැලසුම් කළා අපේ ලොකු ගෙදරින් අයින්වෙන්ඩ... මේ දවස්වල දේපළ වෙළෙඳාම හොඳයි. අපට මුණගැහුණා අපේ ගෙට මිලියන හතක් ගෙවන්ඩ කැමති ගැණුම්කාරයෙක්. ඒ වෙනුවට හොඳ සැප පහසු තනි පලේ ගෙයක් ගන්ඩයි අපි හදන්නේ. ධරජය්රා මාවතෙන් අපිට හොඳ තැනක් හම්බවුණා. අලුත් තැනකට යද්දි සේවිකාව අවශ්‍ය නෑ කියලත් අපි තීරණය කළා. එතකොට ඉඩ කඩ වැඩියෙන් ඉතිරි වෙනවනේ.”

මහලු කාන්තාව හිස වැනුවේ යමක් අවබෝධ කරගත්තාක් මෙනි. ඒ අතර ‘බී චූ’ යමක් ගිලගත්තා ය.

“ගෙදර වැඩ ටික ඇවිත් කර දීලා යන්නට කෙනෙක් හොයා ගත හැකි. කෑම අපිට පිටින් ගන්ඩත් පුළුවන්. හැබැයි, සේවිකාව ගියාම ඔයාව බලාගන්ඩ කෙනෙක් නැති වෙනවා. ඔයා ඒ ගෙදර පුදුම විදියට තනිවේවි. ගේත් පුංචි නෙ, ඉඩකඩත් මදිනෙ. අපි හුඟක් දුරට කල්පනා කළා. අන්තිමට තීරණය කළේ වඩාත්ම හොඳම දේ ඔයාව නිවාසෙකට යවන එක කියලයි...”

“හුගැංග් කිට්ටුව බොහොම හොඳ ක්‍රිස්තියානි නිවාසයක් තියෙනවා.”

මහලු කාන්තාව ඇසිපිය එසවූයේවත් නැත. “මං එතැනට ගියා. මේට්‍රන් කැමතියි ඔයාව ගන්ඩ. එතැන හරිම ලස්සනයි. ලොකු වත්තකුත් තියෙනවා. ඔයාගෙ වයසෙ අය ගොඩක් ඉන්නවා, යාළු මිත්‍රකම් පවත්වන්ඩ. ඔයා එහෙදි හැබෑවටම සතුටින් ඉඳීවි.”

තමාගේම කියමන් තහවුරු කරන්නට දියණිය තව දුරටත් එසේ පැවසුවා ය.

මේ වතාවේ මහලු මාතාවට වැරෙන් අල්වා ගන්නට පූජා භාණ්ඩ සහිත බෑගය තිබුණේ නැත. තදින් දෙතොල විකාගත් ඇය අසුනෙහි බඳ පටිය තදකර ගත්තාය. තවදුරටත් තමා අනවශ්‍ය තම දියණියගෙන් බේරී සිටින්නට එමගින් හැකිවෙතැයි ඇය සිතුවා සේය.

ගමන් කළ රිය අසුන තුළ ඈ ගිලී ගියාය. ඇගේ උරහිස් පහත වැටුණි. සුදු පැහැති අසුනෙහි ඇගේ ඇඟිලි සලකුණු පැහැදිලිව සටහන් විය.

“අම්මා” පසු පස බලන කණ්ණාඩිය තුළින් බලමින් දියණිය මව ඇමතුවා ය.

“ඔක්කොම හරිනෙ එහෙනම්!”

“ඔව්” මව පැවසුවේ මුදු ලෙසය. එහෙත් බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි හඬකිනි.

“එයින් ඔයා සතුටු වෙනවා නම්...” ඇය තවදුරටත් කීවාය.

“ඒ ඔයා වෙනුවෙන් අම්මේ, ඔයා එහෙදි මෙහෙට වඩා සතුටින් ඉඳීවි. හෙට ඔයාට එහේ යන්ඩ පුළුවන්. මං අපේ සේවිකාවට දැනටමත් කියලයි තියෙන්නේ. ඔයාගෙ බඩු අස්කරන්ඩ කියලා.”

එලයිනී පැවසුවේ ජයග්‍රාහී ලීලාවෙනි. හරියට න්‍යාය පත්‍රයේ සඳහන් තවත් එක වැඩසටහනක් නිමා වූවා සේය.

“මං දැනං හිටියා හැම දේම හොඳට සිද්ධ වේවි කියලා.”

එලයිනී පුළුල් මඳහසක් පෑවා ය. අම්මාගෙන් ගැලවී ගත්තා යැයි ඇය සතුටට පත් වූවා විය හැකිය.

දියණියගේ සන්තෘෂ්ටියට ඇති එකම බාධාව අම්මාය.

දැන් දියණිය ප්‍රීතියෙනි. නව පන්නයේ කාන්තාවකට අවැසි හැම දේම දැන් ඇය සතු කරගෙන ඇත. මුදල්, තත්ත්වය, ආදරය, රැකියාව, බලය ඈ සතුය. ඒ හැරුණු විට අම්මාගෙන් සහ ඇගේ පැරණි මෝස්තරයේ කිරුම්, මිනුම්වලින් නිදහස ද දැන් ඇයට ලැබී ඇත.

ඔව්, දැන් ඇය නිදහස් ය.

හදිසියේ ඇගේ දුරකථනය නාද විය. ඈ එහිවූ පණිවුඩය කියවා බැලුවා ය.

“ව්‍යාපාර අරමුදල 10% කින් ඉහළ නගී” ඔව්, නිසැක වශයෙන්ම ඒ පණිවුඩය දියණියගේ තත්ත්වය තවත් ඉහළට නංවනු ඇත.

දියණිය ජංගම දුරකථන තිරයේ දීප්තිය තුළින් ජීවිතයේ අර්ථය සොයමින් සිටියා ය. එහෙත් පසුපස අසුනේ සිටි තම මහලු මව සහ ඇගේ ඇසේ කඳුළු ඇය දුටුවේ නැත.

https://www.heladiva.lk/%e0%b6%9a%e0%b7%99%e0%b6%a7%e0%b7%92-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80/

Nissanka Rajapaksa

unread,
Aug 2, 2024, 8:08:18 PM8/2/24
to INDRAKA group
24
අද්භූත පෙට්ටගම 

‘Calamander Chest’ by Joseph Payne Brennan

පරිවර්තනය හෙල්මලී ගුණතිලක


“මේක කොදෙව් දූපත් වලින් ගෙනාවේ සර්!”

පරණ බඩු වෙළෙන්දා තම දෙඅත්ල එකට පිරිමදිමින් කීවේය. 

“හොඳ කළු මැදිරිය ලීයෙන් හදලා තියෙන්නේ. කලාතුරකින් හම්බවෙන බඩුවක් සර්!”

“එහෙනම්.. මම ඒක ගන්නම්.” අර්නස්ට් මාක්ස් මඳක් පසුබාමින් කීවේය. 

කළු මැදිරිය ලීයෙන් තැනූ මේ පෙට්ටගම ඔහුගේ ඇස ගැටුණේ පරණ බඩු කඩයක අලසව ඇවිදිමින් සිටියදී ය. එහි ගාම්භීර විදෙස් පෙනුම ඔහුගේ සිත පැහැර ගත්තේය. කළු පැහැති වයිරම් සහිත ඒ තද දුඹුරු ලීය බැලූ බැල්මට කළුවර ලීයක් සේ දිස්විය. අඩි දෙකක් තරම් පළලින්, අඩි පහක් පමණ දිගින් සහ අඩි තුනක් තරම් ගැඹුරින් යුතු වූ මේ පෙට්ටගම, හොඳින් ඉඩකඩ සහිත වූ එකක් බව පෙනුණි. පරණ බඩු කඩයේ වෙළෙන්දා මෙය ඩොලර් දොළහක් තරම් සුළු මුදලකට විකිණීමට සුදානම් බව වැටහුණු විට මාක්ස්ට එය කෙසේ හෝ ලබාගැනීමට සිත් විය.

එහෙත් වෙළෙන්දා මේ පෙට්ටගම විකුණා දැමීමට දක්වන උනන්දුවත් එහි අඩු මිළත් ඔහුගේ සිතේ සැකයක් ඇති නොකළා නොවේ. මේ වටිනා ලීය මතුපිටින් පමණක් පෙනෙන්නට ඇති දෙයක්ද? පෙට්ටගමේ නොපෙනෙන අඩුපාඩුවක් තිබේද?

මීට පසු දින පෙට්ටගම තම කාමරයට ගෙනවිත් භාර දුන් විට ඔහුට එහි කිසි අඩුපාඩුවක් සොයාගනු නොහැකි විය. එහි කලු මැදිරිය ලීය ශක්තිමත්ව තිබුණු අතර මුළු පෙට්ටගමේම කිසිදු ඇද පලුද්දක් නොවිණි. එහි පියන සුමට ලෙස වැසෙන බවත් එහි අගුලේ වූ විශාල ලෝහ යතුර පහසුවෙන් කරකැවෙන බවත් ඔහු නිරීක්ෂණය කළේය. 

තමන්ගේ මේ අලුත් මිලදීගැනීම ගැන මහත් සතුටින් මාක්ස් පෙට්ටගමේ ලීය මනාව ඔපදමා එය තම කාමරයේ හිස් ව තිබුණු කෙළවරකට තල්ලු කළේය. ඊළඟ වතාවේ නවාතැන් මාරු කරද්දී මෙහි වටිනාකම තදින් දැනෙනු ඇති බව ඔහුට කල්පනා විය. ඒ දවස එළඹෙන තුරු එය ඔහුගේ අරුමෝසමක් රහිත කාමරයට අලංකාරයක් එක් කරනු ඇත. 

සති කීපයක් ගත විය. තවමත් ඉඳහිට ඔහු තමන් අලුතින් අත්පත් කර ගත් මේ භාණ්ඩය වෙත ආඩම්බරය මුසු බැල්මක් හෙලුවත් ක්‍රමක්‍රමයෙන් ඒ ගැන සිතුවිලි ඔහුගේ මනසින් ගිලිහෙන්නට විය. 

එහෙත් එක් දිනක් පෙට්ටගම ඔහුගේ අවධානය පැහැර ගත්තේ නොසිතූ විරූ ලෙසිනි. එදින බොහෝ රෑ වනතුරු ඔහු කියවීමේ යෙදී සිටියේය. හදිසියේම, කුමක් හෝ හේතුවකට ඔහු තම දෑස පොතෙන් මුදාගෙන කාමරයේ කෙළවරේ වූ පෙට්ටගම දෙස යොමු කරන්නට යෙදුණි.

පුදුමයකි! එහි පියන යටින් මතුවී සුදු පැහැති දිගු ඇඟිල්ලක් පෙනෙන්නට තිබිණි. මෙය දැක භ්‍රාන්ත වූ මාක්ස් උන් තැනම නිසොල්මන්ව සිටියේ තම දෑස මේ අමුතු දසුන වෙතම අලවාගෙනයි. පෙට්ටගමේ කෙළවරින් එල්ලා වැටුණු මේ සුදුමැලි ඇඟිල්ල මහත අතකට සම්බන්ධ වූ බවක් පෙනුණු අතර එහි කෙලවරේ කළු පැහැති නියපොත්තක් විය.

මේ අමුතු දසුන දැකීමෙන් මුලින්ම ඇතිවූ කැළඹුම මඳක් පහවූ පසු තමන් තුළ තද කේන්තියක් මතුවන බව මාක්ස් ට දැනුණි. හදිසියේ මෙතැන පහළ වීමට මේ ඇඟිල්ලට කිසිම අයිතියක් තිබුණේ නැත! එය මහත් අසාධාරණ සහ මෝඩ සිදුවීමකි. තම කාමරයට මේ නිවසේ වෙනත් නවාතැන්කරුවෙක් හදිසියේ කඩා වැදුණු තරමට බලවත් නොරිස්සුමක් ඔහුට දැනුණි. මේ හදිසි මතුවීම නිසා තමන්ගේ සාමකාමී, සුවබර රාත්‍රියට බාධා වූ තරම්! 

නොසරුප් වදනක් කියමින් මාක්ස් තම අත වූ පොත පෙට්ටගමෙන් මතු වූ ඇඟිල්ල වෙත දමා ගැසුවේය. එසැණින් ඇඟිල්ල අතුරුදන් විය. නොඑසේ නම් එය ඔහුගේ දෘෂ්ටි පථයෙන් ඉවත් විය. කාමරය හරහා ආලෝකය විහිදෙන සේ තම කියවීම් ලාම්පුව ඇළ කළ මාක්ස්, වේගවත් ගමනින් පෙට්ටගම වෙත ගොස් වැරෙන් එහි පියන විවර කළේය. 

එහෙත් ඒ තුළ කිසිවක් තිබුණේ නැත.

පියන අත්හැරිය මාක්ස් තම පොත අහුලාගෙන නැවතත් පුටුව වෙත ගියේය. සමහරවිට තමන් වුවමනාවට වඩා පොත් කියවමින් සිටියා විය හැකි බව ඔහුට සිතුණි. අධික වෙහෙසට පත් තම දෑස තමන්ට මායාවන් පෙන්වනවා විය හැක. තව ටික වෙලාවක් කියවන්නට උත්සාහ ගත්තත් වරින් වර තම දෑස පෙට්ටගම වෙත යොමුවන බව ඔහුට දැනුණි. එහෙත් පෙර දුටු ඇඟිල්ල නැවත වරක් දිස් වූයේ නැත. ටික වෙලාවකින් මාක්ස් නිදාගැනීමට ගියේය.

මේ සිදුවීමෙන් සතියක් ගතවෙද්දී මාක්ස් ට ඇඟිල්ල ගැන අමතක වන්නට විය. ඔහු හවස් වරුවේ වැඩි වැඩියෙන් නිවසින් පිටත ගතකරන්නත් අඩුවෙන් පොත් කියවන්නත් විය. ඒ සතිය අවසන් වෙද්දී තමන් ඒ දුටුවේ වෙහෙසට පත් වූ දෑස මැවූ අමුතු දෘෂ්ටි මායාවක් පමණක් බව ඔහු තමන්ටම ඒත්තු ගන්වාගෙන තිබිණි. 

දෙවන සතිය ආරම්භයේදී ඔහු අලුත් සඟරා කිහිපයක් මිළදී ගත්තේ හවස් වරුව තම කාමරයේ ගත කිරීමේ අදහසිනි. මේ වෙද්දී තම දෑසට මනා විවේකයක් ලැබී ඇති බව ඔහු විශ්වාස කළේය. පළවෙනි සඟරාව කියවන්නට පටන්ගෙන මඳ වෙලාවකින් පෙට්ටගම දෙස බැලූ විට ඔහු දුටුවේ සියල්ල සාමාන්‍ය පරිදි ඇති බවයි. පුටුවේ හරිබරි ගැසී වාඩි වූ ඔහු සඟරාව කියවීමට කෙතරම් අවධානය යොමු කළේද යත් තවත් හෝරාවකට වැඩි කාලයක් ගතවන තුරු ඒ වෙතින් හිස එසවූයේ නැත. ඒ සඟරාව කියවා අවසන් කර තවත් එකක් අතට ගන්නට යද්දී මාක්ස්ගේ දෑස ඉබේම පෙට්ටගම වෙත යොමු විය- දෙවියනේ! ඇඟිල්ල නැවතත් මතු වී තිබිණි!

පෙර පරිදිම එය පණ නැති ලෙසින් පෙට්ටගමේ කෙලවරකින් එල්ලා හැලුනි. මහත අතත් අප්‍රියජනක කළු නියපොත්තත් එලෙසම විය.

කාමරය හරහා වේගයෙන් ඒ වෙත දිව යාමට උපන් වුවමනාව ආයාසයෙන් මැඩ ගත් මාක්ස් තම පුටුව අසල වූ කනප්පුව මත වූ බරැති ලෝහ අළු බඳුන වෙත සෙමෙන් අත දිගු කළේය. තම අතැඟිලි එහි ගැටෙද්දී පවා ඔහු තම දෑස ඇඟිල්ල වෙතින් ඉවත් කර ගත්තේ නැත. 

ඉතා සෙමෙන් පුටුවෙන් නැගිටගත් මාක්ස් ගොලුබෙලි ගමනින් කාමරය හරහා ගමන් කරන්නට විය. ලෝහයෙන් තැනුණු, මුවහත් දාරයක් සහිත අළු බඳුනෙන් වැරෙන් පහරක් එල්ල කළහොත් ඊට වඩා දුර්වල ඕනෑම දෙයක් සුණු විසුණු කළ හැකි බවට ඔහු තුළ විශ්වාසයක් විය. එහෙත් ඔහු පෙට්ටගමෙන් අඩියක් තරම් නුදුරින් සිටිද්දී එකවරම ඇඟිල්ල අතුරුදහන් විය. පෙට්ටගමේ පියන ඔසවා බලනු ලැබුවද සුපුරුදු ලෙස එය හිස්ව තිබිණි. 

මහත් සේ කැළඹුමට පත් වූ මාක්ස් නැවත තම පුටුව වෙත ගොස් අසුන් ගත්තේය. ඉන්පසු ඇඟිල්ල නැවත වරක් මතු වූයේ නැතත් එහි බියකරු රුව තම මනසින් ඉවත් කර ගැනීමට ඔහු අසමත් විය. මේ පෙට්ටගම තමන්ගේ හිමිකමින් බැහැර කළ යුතු බව නින්දට යාමට පෙර ඔ හු අකමැත්තෙන් වුව ඉටා ගත්තේය. 

තමන් මනා සෞඛ්‍යයෙන් පසු වූ අතර තම දෑසට සතියක විවේකයක් ලැබී තිබුණු නිසා මේ අප්‍රසන්න දසුන මවන සොබාදමේ යම් විකෘතිය රැඳී තිබුණේ තමා වෙත නොව පෙට්ටගමේ බව මාක්ස් තාර්කිකව සිතුවේය. පරණ බඩු වෙළෙන්දා නොවටිනා මිළකට මේ පෙට්ටගමේ විකුණා දැමීමට දැක්වූ උනන්දුව ඔහුට සිහිවිය. පරණ බඩු කඩයට එද්දීම මීට කිසියම් භූත බලපෑමක් තිබුණා විය හැක. මේ නිසාම ඒ කපටි වෙළෙන්දා සුළු මුදලකට එය විකුණා දැමීමට පෙළඹුනා විය හැක. 

ව්‍යවහාරික දැනුමකින් යුත් තරුණයෙක් වූ මාක්ස්, මේ සිදුවීමට භෞතික නොවන හේතුවක් ඇති බව පිළිගත්තේ තරමක නොකැමත්තෙනි. නමුත් මේ ගැන තර්ක කිරීමට තමන් කළ යුතු දෙයක් නොවේ යැයි ඔහු සිතුවේය. තමන් යහපත් ලෙස සිහිය පවත්වා ගැනීම සියල්ලට වඩා වැදගත් බවත් අන් සියලු දේ ඊට දෙවෙනි බවත් ඔහු සැලකුවේය.

මේ අනුව ඊට පසු දින රැකියාවට යාමට පෙර පෙට්ටගම නගරයේ කුණු ගොඩ වෙත ගෙන ගොස් දැමීමට කටයුතු යොදන සේ මාක්ස් තම ගෙහිමි කාන්තාවට කීවේය. එසේ ගෙන ගිය විට එය පුළුස්සා දැමීමටත් ඔහු විශේෂයෙන් උපදෙස් දෙන්නට අමතක කළේ නැත. 

නමුත් ඒ හවස්වරුවේ කාමරයට ආ විට මුලින්ම ඔහුගේ ඇස ගැටුණේ කාමරය කෙළවරෙහි වූ කළුමැදිරිය පෙට්ටගමයි. තදින් කෝප වූ ඔහු ආ පයින්ම ගෙහිමි කාන්තාව වෙත ගොස් මීට හේතු විමසා සිටියේය. තමන්ගේ අණ නොතකා හැරීම ගැන දැක්විය හැකි නිදහසට කරුණු මොනවාද?

මාක්ස්ගේ බැන වැදීම් අතරින් යමක් කියා ගැනීමට හැකි වූ විට ගෙහිමි කාන්තාව ඉවසීමෙන් පැහැදිලි කළේ සැබවින්ම ඒ උදෑසන නගරයේ කුණු බැහැර කරන ස්ථානය වෙත රැගෙන යාම සඳහා පෙට්ටගම ගෙනියනු ලැබූ බවයි. නමුත් එය එහි රැගෙන ගිය විට එය භාර නිලධාරියා පවසා ඇත්තේ බැලූ බැල්මට මෙහි යම් වැරදීමක් සිදුවී ඇති බවයි. මේ තරම් අලංකාර වටිනා භාණ්ඩයක් විනාශ කර දැමීමට සිහි බුද්ධියක් ඇති කෙනෙක් අවසර නොදෙන බවත්, කුලී කරුවන් දෙදෙනාට වැරදීමක් සිදුවී ඇති බවත්, මේ වෙනුවට අයිතිකරුට අනවශ්‍ය යම් නොවටිනා භාණ්ඩයක් ඔහුගේ නවාතැනේ ඇති බවට නොඅනුමාන බවත් ඔහු කියා තිබේ. 

කුණු ගොඩ වෙත පෙට්ටගම රැගෙන ගිය කුලී කරුවන් දෙදෙනාටද මේ කරුණ ගැන සහතික වීමට නොහැකි වූ නිසාත්, අධික මිළකින් යුතු භාණ්ඩයක් සම්බන්ධයෙන් වැරදි දෙයක් කිරීමට ඇති නොකැමැත්ත නිසාත් නැවතත් ඔවුන් එය මාක්ස්ගේ නවාතැන වෙත ගෙනැවිත් ඇත. මේ විස්තරය අසා මහත් කලබලයට පත් වූ මාක්ස්, යන්තම් ගලපා ගත් වදනින් ගෙහිමි කාන්තාවගෙන් සමාව ඉල්ලා, පෙරලා තම කාමරයට ගොස් පුටුවකට වැටී, අයාගත් දෙනෙතින් යුතුව පෙට්ටගම දෙස බලා සිටියේය. 

අන්තිමේදී ඊට තවත් අවස්ථාවක් ලබා දීමට ඔහු තීරණය කළේය. තවදුරටත් අද්භූත කිසි දෙයක් සිදු නොවුනොත් ඔහු පෙට්ටගම තව දුරටත් තියාගන්නටත්, නොඑසේ නම් එය විනාශ කර දැමීමට යම් බරපතල පියවරක් ගැනීමටත් ඔහු ඉටා ගත්තේය. 

එදින හවස් වරුවේ සංගීත ප්‍රසංගයකට සහභාගී වීමට ඔහු සැලසුම් කර තිබුණත් හවස හය පසු වෙද්දී වැස්සක් ඇද හැලෙන්නට වූයෙන් ඔහු කාමරයටම වී සිටින්නට හිත හදා ගත්තේය. 

කියවීමේ කාර්යය ආරම්භ කිරීමට පෙර පෙට්ටගම යතුරු ලා එහි යතුර තම සාක්කුවට දමා ගැනීමට මාක්ස් අමතක කළේ නැත. මින් පෙර මෙය සිදුකිරීමට ඔහුට මතක් නොවීම විකාර සහගත විය.මෙවර නම් තමන් පෙට්ටගම තීරණාත්මක පරීක්ෂණයකට ලක් කරන බව ඔහුට හැඟිනි.

පොත කියවද්දී ඔහු පෙට්ටගම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ ද රාත්‍රී එකොළහ පසු වී ඔහු තම පොත පසෙක තබන තුරු කිසිවක් සිදු වූයේ නැත. පොත වස දමා පුටුවෙන් නැගිටිද්දී -ඇඟිල්ල නැවත පැමිණ තිබිණි. පෙනුමෙන් නම් එහි කිසි වෙනසක් සිදුව තිබුණේ නැත. එහෙත් පණ නොමැතිව එල්ලා හැලෙනු වෙනුවට එහි කුඩා චලනයක් දිස් විය. ඇඟිල්ල යන්තමින් වෙව්ලමින් තිබුණේ සිය දිගු කළු නියපොත්තෙන් දුර්වල ලෙස පෙට්ටගම සූරන්නට තැත් දරන අයුරිනි. 

අවශ්‍ය තරම් ධෛර්යය එකතු කරගත් පසු මාක්ස් පෙර සේම ලෝහ අළු බඳුන අතින් ගෙන කාමරය හරහා සෙමෙන් ඇවිද යන්නට විය. මෙවර ඇඟිල්ල අතුරුදන් වූයේ ඔහු ඊට පහරදෙන්නට අළු බඳුන ඔසවාගෙන සිටිද්දීය. එක්වරම එය පෙට්ටගම තුළට ඇදගත් වගක් දිස් විය. 

ගැහෙන හදින් යුතුව මාක්ස් පෙට්ටගමේ පියන විවර කළේය. මේ වතාවේත් එය හිස් ව තිබිණි. තම සාක්කුවේ වූ යතුර ගැන ඔහුට මතක් වූ විට තම සිරුර ත්‍රාසයෙන් කිලිපොලා යන බවක් ඔහුට දැනුණි. මේ බියකරු ඇඟිල්ල විසින් පෙට්ටගමේ යතුරු ඇරගෙන ඇත! නො එසේ නම් සිදුව ඇත්තේ තමන්ගේ පියවි සිහිය අහිමි වීමයි. 

චංචල වූ සිතින් යුතුව මාක්ස් දෙවෙනි වතාවටත් පෙට්ටගම යතුරු ලා පුටුවක වාඩිවී, වේලාව අලුයම දෙක වන තුරු ඒ දෙස බලා සිටියේය. ඉනික්බිති ඔහු ඇඳට ගියේ මහත් කැළඹුමටත් වෙහෙසටත් පත්වයි. විදුලි බුබුල නිවා දමන්නට පෙර පෙට්ටගම තවමත් යතුරු ලා ඇති බව ඔහු නැවතත් පරීක්ෂා කර බැලුවේය. 

නින්දට වැටුණු වහාම මාක්ස් භයංකර හීනයක් දුටුවේය. නොනැවතී ඇසෙන සූරන හඬකින් තමන් අවදි වූ බවත්, ඉටිපන්දමක් දල්වාගෙන පෙට්ටගම දෙස බැලූ බවත් ඔහු සිහිනයෙන් දුටුවේය. මෙවර එහි පියන යටින් පෙනෙන්නට තිබුණු ඇඟිල්ල මහත් ජවයකින් යුතු වූ බවක් දිස් විය. එය ඇඹරෙමින්, දඟලමින් ලීයට තට්ටු කරමින් කළු නියපොත්තෙන් ලීයේ මතුපිට සූරමින් පසුවිය. එහෙත් හදිසියේම මාක්ස්ගේ පැමිණීම දැනුණු කලෙක මෙන් එය එක්වරම නිසොල්මන් වී එක්වරම ඉතා උවමනාවෙන් ඔහුට ළඟට එන්නැයි සන් කරන්නට විය. ත්‍රාසයෙන් භ්‍රාන්තව සිටියත් මීට අකීකරු වීමට තමන්ට නොහැකි බවක් මාක්ස්ට හැඟිනි. ඉටිපන්දම බිමින් තැබූ ඔහු සෙමෙන් කාමරය හරහා ගියේ රොබෝවකු මෙනි. ඔහුට සන් කරන අද්භූත ඇඟිල්ල යකඩ වෙනුවට මිනිස් මාංශ ආකර්ෂණය කරගන්නා කාන්දමක් වැනි විය. 

මාක්ස් පෙට්ටගමට කිට්ටුවෙද්දීම ඇඟිල්ල ඒ තුළට වැදුණු අතර එහි පියන එසවිණි. බියෙන් ත්‍රස්ත වී සිටියත් තමන්ව කිසිසේත්ම වළකා ගැනීමට නොහැකි වූ ඔහු, පෙට්ටගම තුළට බැස, එහි හිඳ, දනිස් නිකට දක්වා නවා වැතිරුණේය. ඉන් මොහොතකට පසු පෙට්ටගමේ පියන වැසී ගොස් යතුර අගුලේ කැරකෙනු ඔහුට පැහැදිලිව ඇසිණි. 

බියකරු සිහිනයේ මේ කොටසේදී මාක්ස් මහා හඬින් කෑ ගසමින් අවදි වූවේය. ඇඳෙහි හිඳගත් ඔහුට තම මුහුණ දහදියෙන් තෙත්ව ගොස් ඇති අයුරු දැනුණි. ඒ සිහිනය නිසාම ඇඳෙන් බැස ගොස් විදුලි බුබුල දැල්වීමට ඔහු බිය විය. ඒ වෙනුවට ඔහු ඇඳ ඇතිරිලි අතර සැඟවී අලුයම වන තුරු අවදිව සිටියේය.

තම මනස මඳක් සන්සුන් වූ පසු කළු කෝපි කෝප්පයක් පානය කිරීමට නිවසින් පිටතට ගිය මාක්ස් රැකියාවට නොගොස් තමන් හඳුනන ලොරි කරුවකුගේ නිවසට ගියේය. මින් පෙරදී ඔහු නිවාස මාරු කරද්දී මේ පුද්ගලයාගේ සහාය ලබාගෙන තිබිණි. ලොරිකරු වෙත නිශ්චිත විස්තරාත්මක උපදෙස් මාලාවක් දී එකඟතාවයකට එළැඹි පසු, මාක්ස් ඔහුට ඩොලර් දහයක් ගෙවුවේ කාර්යය සම්පූර්ණ කළ පසු තවත් ඩොලර් දහයක් ගෙවන පොරොන්දුවෙනි. දහවල් කෑමෙන් පසු සෑහෙන තරමක සිතේ සහනයක් ඇතිව ඔහු කාර්යාලයට ගියේය. 

එදා හවස්වරුවේ මාක්ස් තම කාමරයට පා තැබුවේ මහත් ආත්ම විශ්වාසයෙනි. එහෙත් ඇතුළු වී වටපිට බලද්දී තම හදවත කඩා වැටෙනු ඔහුට දැනුණි. තමන් දුන් උපදෙස් නොතකන ලද අතර ලොරි කරු විසින් පෙට්ටගම රැගෙන ගොස් තිබුණේ නැත. එය මෙතෙක් කල් තිබුණු අයුරින්ම කාමරයේ කෙළවරෙහි තවමත් තිබිණි. 

මෙවර කේන්තිය වෙනුවට මාක්ස්ට දැනුණේ කලකිරීමකි. දුරකතනයක් සොයා ගිය ඔහු ලොරි කරුට ඇමතුවේය. සිදු වූ අතපසු වීම ගැන සමාව ඉල්ලූ ලොරි කරු පැවසුවේ මේ කාර්යය සඳහා පිටත් වන්නට සූදානම් වෙද්දීම තමන්ගේ ලොරියේ කාර්මික දෝෂයක් සිදු වූ බවයි. මේ වෙද්දී එය අලුත්වැඩියා කර අවසන් වීමට ආසන්න බවත්, පසු දින උදෑසනින්ම මේ කටයුත්ත සම්පූර්ණ කරන බවත් ඔහු කියා සිටියේය. 

තවත් කළ හැකි දෙයක් නොමැති බැවින් මාක්ස් ඔහුට ස්තූති කර දුරකථනය විසන්ධි කළේය. නැවතත් තම කාමරය වෙත යාමට ඔහු තුළ වූයේ බලවත් නොකැමැත්තකි. ඇති තරම් වෙලාව රැගෙන අසල වූ අවන්හලකින් රාත්‍රී ආහාරය ගත ඔහු ඉනික්බිති චිත්‍රපටයක් නැරඹීමට ද ගියේය. චිත්‍රපටය අවසන් වූ පසු ඔහු උණුසුම් චොකලට් පානයක් සඳහාද තාවර විය. මාක්ස් නැවතත් තම කාමරය වෙත යද්දී මැදියම් රැයද පසු වී තිබිණි. 

පෙර දා රාත්‍රියේ බියකරු සිහිනයක් දුටුවද, මෙදින නම් නින්දට යාමට තමන්ට මහත් උනන්දුවක් ඇති බව ඔහුට දැනුණි. සම්පූර්ණ රැයක නින්ද අහිමි වී සිටි ඔහුට වෙහෙසක් දැනෙමින් තිබිණි. 

පෙට්ටගම යතුරු ලා ඇති බව සහතික කර ගැනීමෙන් පසු ඔහු එහි යතුර තම කොට්ටය යටින් තබා නින්දට ගියේය. සිතේ කැළඹිල්ලක් තිබුණත් ඔහු ඉක්මණින් නින්දට වැටුණේය. 

පැය කිහිපයකට පසු හදිසියේ අවදි වූ මාක්ස් ඇඳෙහි හිඳ ගත්තේය. ඔහුගේ හදවත වේගයෙන් ගැහෙමින් තිබිණි. තමන් අවදි කළේ කුමක්දැයි ඔහුට මුලදී නොවැටහුණත්, ටික වෙලාවකින් ඔහුට එය ඇසෙන්නට විය. කාමරයේ එක් කෙළවරකින් දඩි බිඩි හඬක් සහ සීරෙන හඬක් ඇසෙමින් තිබිණි. 

තදින් වෙව්ලමින් සිටි මාක්ස් ඇඳෙන් බැස කාමරය හරහා ගොස් තම කියවීම් ලාම්පුවේ බොත්තම එබුවේය. නමුත් ඉන් ආලෝකයක් නිකුත් වූයේ නැත. එක්කෝ විදුලිය කපා හැර තිබිණි, නැත්නම් විදුලි බුබුල පිලිස්සී තිබිණි. 

ලාම්පුව තිබූ කනප්පුවේ ලාච්චුව විවර කළ මාක්ස් වියරුවෙන් මෙන් ඉටිපන්දමක් සොයන්නට විය. ඔහු ඉටිපන්දමක් සොයාගෙන එය දල්වන්නට ගත වූ කාලය තුළදී පෙට්ටගම තුළින් නැඟුණු සීරුම් හඬ උත්සන්න වී තිබුණු අතර මුළු කාමරයම ඒ හඬින් දෝංකාර දෙන්නට විය. 

මාක්ස් වෙව්ලමින් ඉටිපන්දමත් අතින් ගෙන පෙට්ටගම වෙත ඇවිද ගියේය. කාමරයේ කෙළවර වෙත ඉටිපන්දමේ ආලෝකය පැතිරෙද්දී ඔහු නැවත වරක් ඇඟිල්ල දුටුවේය. මෙවර එය පෙට්ටගමින් පිටතට විහිදී අමුතු ජවයකින් දඟලමින් විය. ඇඹරෙමින්, නටමින් තිබුණු එය, කළු පැහැති නියපොත්තෙන් ලීය හාරමින් වියරුවෙන් හැසිරෙන අයුරු පෙනුණි. 

මාක්ස් කිට්ටු වෙද්දී එක්වරම ඇඟිල්ල නිසොල්මන් වී පහතට එල්ලා හැලෙන්නට විය. බියෙන් ත්‍රාස ව සිටි මාක්ස්ට හැඟුණේ එය ඔහු කිට්ටු වන බව හඳුනාගෙන දැන් නිහඬව, ඔහු කරන දේ නරඹමින් සිටින බවයි. 

මාක්ස් කාමරය හරහා තරමක් දුර ඇවිද යද්දී ඇඟිල්ල සෙමෙන් එසවී ඉතා උවමනාවෙන් ඔහුට සන් කරන්නට විය. ඔහුට එක්වරම තමන් දුටු බියකරු සිහිනය සිහියට නැඟුණි. ඒත් මෙවරත්- සිහිනයේදී මෙන්ම- ඔහුට ඒ අද්භූත සන් කිරීමට අකීකරු වන්නට නොහැකි බව දැනුණි. ධ්‍යානයකට සම වැදුණු අයෙකු ලෙස ඔහු නොනැවතී ඉදිරියටම ගමන් කළේ ය. 

පසු දින පාන්දරම ගෙහිමි කාන්තාව විසින් ලොරිකරු සහ ඔහුගේ අත් උදවුකරු කාමරය වෙත කැඳවාගෙන ආවාය. ඒ වෙද්දීත් මාක්ස් රැකියාවට පිටත්ව ගොස් ඇති බවක් පෙනුණු නමුත් ඔහු පෙර දිනම අවශ්‍ය විස්තරාත්මක උපදෙස් ලබා දී තිබුණු නිසා ඔහු එහි සිටීම මේ කටයුත්ත සඳහා අත්‍යවශ්‍ය වූයේ නැත. 

අගුලු ලා තිබුණු පෙට්ටගම කාමරයේ කෙළවරක වූ නමුත් ඊට යතුරක් පෙනෙන්නට තිබුණේ නැත. අවසානය තෙක්ම දැල්වුණු ඉටිපන්දමක් ඉන් ගැලූ ඉටි මැද ඒ අසල බිම දිස් විය. 

මෙය දැක ගෙහිමි කාන්තාව නොරිස්සුමෙන් හිස සැලුවාය. “මුළු ගේ ම පුච්චලා දාන්න හොඳ ක්‍රමයක් මේක,” ඈ නෝක්කාඩු කියන්නට විය. “මාක්ස් මහත්තයා එක්ක මේ ගැන කතාකරන්න වෙනවා. එයා සාමාන්‍යයෙන් මෙහෙම නොසැලකිලිමත් වැඩ කරන්නේ නැහැ.”

පෙට්ටගම ඔසවාගෙන යමින් සිටි මිනිසුන් දෙදෙනා ඈ කී දේට ඇහුම්කන් දුන්නේ නැත. තරප්පුව බසිද්දී ලොරිකරුගේ සගයා මැසිවිලි කියන්නට විය. “මේකේ ඇතුල් පැත්ත හදලා තියෙන්නේ ඊයම් වලින්ද මන්දා! මේ තරම් බර පෙට්ටගමක් මම නම් කවදාවත් දැකලා නැහැ!”

“මේවා බර ලී ජාති!” ලොරිකරු කෙටියෙන් කීවේ තම මහන්සිය ඉතිරි කරගනිමිනි.

“ඒ මහත්තයා මේතරම් හොඳ පෙට්ටගමක් අහක දාන්නේ ඇයි දන්නේ නැහැ නේද?” නගරය කෙළවරෙහි වූ අත්හරින ලද ගල් කොරියක් වෙත ලොරිය ළඟා වෙද්දී උදවුකරු ලොරිකරුගෙන් විමසුවේය. 

“මම හිතන්නේ ඒකට හේතුව මම දන්නවා,” ලොරිකරු තම සගයා වෙත කපටි බැල්මක් හෙලමින් කීවේය. “ඒ මහත්තයා ඕක ගත්තේ ජේසන් කින්කල්ගෙන්. කින්කල් එයාට මේකේ නිධාන කතාව නොකියා විකිණුවාට පස්සේ එයාම ඒක හොයාගන්න ඇති- ඒකයි මේ වීසි කරන්නේ.”

මෙය අසා උදවුකරුගේ උනන්දුව වැඩි විය. “මොකක්ද ඒ කතාව?” ඔහු විමසුවේය. 

ඔවුහු ගල් කොරිය වෙත ගොස් ලොරියෙන් පිටතට ආහ.

“කින්කල් මේක වෙන්දේසියකින් නොවටිනා ගාණකට අරගෙන තියෙන්නේ” පෙට්ටගම ඉවතට ඔසවා ගනිමින් ලොරිකරු විස්තර කළේය. “ඒ අර වයසක හෙන්රි ස්ටබර්ටන්ගේ ලීබඩු වෙන්දේසියෙන්.”

මෙය අසා උදවුකරුගේ දෑස භීතියෙන් මහත් විය. ඔවුන් සිටියේ පෙට්ටගම බෑවුමක් දිගේ ඉහලට ඔසවාගෙන යමිනි. “ඒ කියන්නේ අර මරලා දාලා තිබුණු ස්ටබර්ටන්ද?”

“ඔව් ඔව්, පෙට්ටගමක මරලා දාලා හිටපු කෙනා. මේ ඒ පෙට්ටගම!”

ගල් කොරියේ උස් බිමක කෙළවරට එළඹෙන තුරු ඔවුන් අතර නැවතත් කතාබහක් සිදුවූයේ නැත. හෙල පහළ අගාධය පතුළේ වූ දිය කඳ දෙස බලමින් ලොරිකරු තම මුහුණේ වූ දහදිය පිසින්නට විය.

“එයාලා ඒ මනුස්සයව හොයාගනිද්දී හරි අජූත පෙනුමක් තිබිලා තියෙන්නේ. එයා පෙට්ටගම ඇතුලේ දෙකට නැමිලා, ඇඟපත කළු ගැහිලා ඉඳලා තියෙන්නේ. ආරංචි වුණු විදිහට ඒ යකාව ඇතුළට දාලා තියෙන්නේ පණ පිටින් ලු, ඒ මිනිහා පහුරු ගාලා එළියට එන්න උත්සාහ කරලාලු! පෙට්ටගම අරිද්දි තමයි දැකලා තියෙන්නේ එක ඇඟිල්ලක් අගුල හරියෙන් පියනට අහුවෙලා තිබුණු බව. මිනිහා නියපොත්තෙන් අගුල අරින්නත් හදලා!”

මෙය අසා උදවුකරු වෙව්ලා ගියේය. “එහෙනම් මේක මහා අවාසනාවන්ත බඩුවක්. ඉක්මණින් මේ වැඩේ ඉවර කරලා දාමු!”

ලොරිකරු හිස වනා මීට එකඟ විය. “ඔය පැත්තෙන් අල්ලලා තල්ලු කරන්න.”

ටික වෙලාවක් තල්ලු කරද්දී පෙට්ටගම හෙල පහළට තල්ලු වී පහත වූ කළු පැහැති ගැඹුරු දිය පතුලේ ගිලුණි. ගලක් සේ බරට එය කිඳ බසිද්දී ජලය දෙබෑ වූයේ මහා හඬක් නඟමිනි. 

“ඒක නම් අතුරුදන් වුන එකමයි කාරිය. දැන් මට තව ඩොලර් දහයක් එකතු කරගන්න පුළුවන්.” ලොරිකරු කීය.

නමුත් පුදුමයකට මෙන් ඔහුට කිසි දිනක ඒ ඩොලර් දහය ලබාගැනීමට හැකි වූයේ නැත. ඊට හේතුව මේ දිනට පසු අර්නස්ට් මාක්ස් මහතා දකින්නටවත් නොවීමයි. සම්පූර්ණයෙන් අතුරුදන් ව ගොස් සිටි ඔහුගෙන් ඉන් මතු කිසිදු ආරංචියක් ලැබුණේ නැත. ඒ වෙද්දීත් පොලීසිය සමඟ විවිධ ගැටුම් ඇතිකරගෙන තිබුණු ලොරිකරු මේ ඩොලර් දහයේ පාඩුව අමතක කර දැමූ අතර පෙට්ටගම ඉවත් කිරීම ගැන කිසිවෙකුට කිසිම සඳහනක් කළේ නැත. ගෙහිමි කාන්තාව ලොරිකරුගේ නම දැන නොසිටි නිසා මාක්ස්ව සෙවීමේදී ඇගෙන් ලැබුණු තොරතුරු වැඩි ප්‍රයෝජනයක් වූයේ නැත. 

මාක්ස් යම් කරදරයකට මැදි වී, පදිංචියත් නමත් වෙනස් කරන්නට ඇති බව අවසන් වශයෙන් පොලිසිය විසින් නිගමනය කරන ලදී.



Nissanka Rajapaksa

unread,
Aug 3, 2024, 8:08:47 PM8/3/24
to INDRAKA group
25
සුන්දර රාධා 

- පවිත්‍රා අභයවර්ධන

පසුකලෙක මාගේ බිරිඳ වූ රාධා මන්දෝදරී දිසානායකට “සුන්දර රාධා” යැයි නමක් පට බැන්දේ මා විසින් නොවේ. ඒ අප දෙදෙනාම සේවය කළ උපකාරක පන්ති මධ්‍යස්ථානයේ, ඇගෙන් සංගීතය උගත් පාසල් සිසුන් ඇයට ඒ නම තබා ඇති බව මට කීවේ එහිම ගුරුවරයෙකු වූ මාධව ය.

“උඹට දැන් මෙහෙ ඔක්කොම ටීචර්ස්ලා හම්බුණා නේද? කට්ටියටම හොඳයි. හොඳ සෙට් එකක්” කියා, “ආ, නෑනෙ අපේ සුන්දර රාධා මේ ටිකේ ක්ලාස් කලේ නෑනෙ සමස්ත ලංකා තරඟවලට ඉස්කෝලෙ ළමයි පුහුණු කරන හින්දා” ඔහු කීවේ මා එහි සාමාන්‍ය පෙළ විද්‍යාව හා තාක්ෂණවේදය උගැන්වීම අරඹා සති දෙකකින් පමණය. සති අන්තයේ පැවැත්වූ බොහෝ පන්ති තරුණ ගුරුවර ගුරුවරියන් විසින් කළ බැවින් මා ද එහි ගියේ කැමැත්තෙනි. විදේශ රැකියාවකට ඉල්ලුම් කර තිබූ මා ඒ වන විට වෙනත් රැකියාවක් කළේ නැත.

“කව්ද බං?”

“අපේ මියුසික් ටීචර්, රාධා, පන්තිවල කොල්ලො තමයි සුන්දර රාධා කියල දාලා තියෙන්නේ. ළමයි ක්‍රියේටිව් කියන්නේ බං, උඹට දැක්කම හිතෙයි ඒකිට අම්ම තාත්තා දාපු නමටත් වඩා ඒ නම තමයි ගැළපෙන්නේ කියලා.”

“අප්පා එච්චර සුන්දරද?”

“හරි ෂෝක් කෙල්ලෙක් බං. උඹ හම්බුණාම බලපංකො. සරලයි, චාම්, හරිම සුන්දරයි තමයි හරියටම හරියන වචනෙ.”
-----------------------------‍

තවත් සති දෙකකින් පසු ගුරු විවේකාගාරයේදී මට හඳුන්වා දෙනු ලැබ, මා හා සුහදව සිනා සී කතා කළ රාධා සැබැවින්ම ඉතා සුන්දර ස්ත්‍රියක් වූවාය. ඇය සතු වූයේ රාත්‍රියක පිරිමියකුගේ සාරාගී සිහිනයවලට මුල් වන පිරුණු රුවක් නොවේ. ඇයට වඩා රූමත්, ඇයට වඩා රුව ඔප්නංවාගත් ගුරුවරියන් කිහිප දෙනෙකු ඒ ගුරුවරියන් අතරද සිටි බව ඇත්තකි. නමුත් ඇගේ පැහැපත් දිගටි මුහුණද, විච්චූරණයෙන් තොර කළු කොන්ඩා කට්ටක් ගසා රැඳවූ දිගු කොණ්ඩයද, ඉතා ලා පැහැති සාරියද මැව්වේ තවද කිසි දෙයක් එයට එක් කළ යුතු නැතැයි සිතෙන අන්දමේ පරිපූර්ණ රුවකි. ඇය සැමටම සුහදව කතා බහ කළද, උළු උඩ යන්නට සිනා වන්නට, තරුණ ගුරුවරයෙකු කියන නොසරුප් විහිළුවකට ඔහුගේ උරයට වැරෙන් ගසා සිනහවෙන්නට ගියේ නැත.
ඇය ඒ පළාතේ බොහෝ ගෞරවයට පත්වූ වෛද්‍යවරයෙකුගේ දියණිය බව, ඇය යොවුන් කළ මව මිය ගිය බැවින් පියා දෑස මෙන් පරිස්සම් කර ඇය හැදූ වැඩූ බව, රාධා මෙහිද නිවසේද අමතර පන්ති කරන්නේ නොමිලේ බව මා දැනගත්තේ ටිකෙන් ටිකය. මා සිතනා ආකාරයට මගේද අනුන්ගේද සිත්වල ඇයගේ සුන්දරත්වය සටහන් වූයේ ඔය කී කරුණුද සමඟිනි.
මා හා ඇගේ තිබුණේ සාමාන්‍ය ඇසුරකි. ඒ සාමාන්‍ය භාවය පළමුව නැති වූයේ මා අතින් නොවේ.
එක්තරා දීර්ඝ සති අන්තයක පන්ති නිමාවී අපි සින්දු කියන්නට වීමු. මා සංගීතය හදාරා නැතත් මට හොඳින් ගී ගැයීමේ හැකියාවක් තිබුණි. කිහිප දෙනෙකු සින්දු කිව්වාට පසු මම “නීල වරළ පීරලා, ඈ යන ගමන හැඩ වෙලා” ගීතය කියන්නට පටන් ගත්තෙමි. ඒ මම ප්‍රිය කළ සුවහසක් ගී අතරින්, මට වචන සියල්ල මතක තිබූ ගී සුළුතරයෙන් එකකි.
රවුමට වාඩි වී සිටි ගුරු පිරිස අතරින් මා දෙස බලා සිටි රාධාගේ දෑස මා දුටුවේ “සුරංගනාවී සුරංගනාවී” කියන අතරතුරය. ඇගේ දෑසේ සටහන් වූයේ මා කිසි දිනක ඇය වෙතින් දැක තිබූ පෙනුමක් නොවේ. ඇගේ පියාගේ කාරය ඇය කැඳවා යන්නට පැමිණි බව කෙනෙකු පැමිණ කීවේ අප තවත් සින්දු කිහිපයක් කීවාට පසුය. ඇය එදා ගියේ නොයා බැරි බැවින් බව මට පෙනුණි. ඇය යන්නට පෙර හැරී මා දෙස බලා යමක් කියන්නට මෙන් තැත් කර නැවත නොනැවතී පිටවී ගියාය.
මට ඒ දිනය ගෙවෙද්දී අමතක වූ ඒ සිදුවීම දින කිහිපයක්ම රාධාගේ නින්ද සොරාගත් බව ඇය මට පැවසුවේ අපි දෙදෙනා පෙම්වතුන් බවට පත්වීමෙන් පසුවය.

“අපේ අම්මා ගමක ටීචර් කෙනෙක්නේ. තාත්තා කැම්පස් කාලෙ යාලුවෙක්ගෙ ගෙදර ආවම තමයි අම්මව දැකලා කැමති වෙලා තියෙන්නේ. තාත්තලාගේ පවුල එක්ක බලද්දි අම්මලා අහසයි පොළවයි වගේ. තාත්තලාගේ‌ ගෙදරින් කැමති වෙලාම නෑ මුලින්. පස්සේ තාත්තා වෙනස් වෙන්නෙම නැති නිසා කැමති වෙලා. වෙඩින් එක වෙද්දි තාත්තගෙ පැත්තෙනුත් අම්මගෙ ලස්සනටයි ගතිගුණවලටයි හොඳට කැමති වෙලා ඉඳලා තියෙන්නේ. අම්මා ඉස්සර කියන්නේ එදා තාත්තාගේ සන්තෝසෙ උතුරනවා වගේලු. අම්මගේ කොණ්ඩෙ ඒ කාලෙ දණිස්ස ගාවට තිබිලා තියෙනවා. වෙඩින් එක දවසේ තාත්තා ඔය සින්දුව කිව්වලු අම්ම දිහා බලාගෙන”

“මට එදා ඔයා එක පාරට ඒක කියද්දි නිකම් හිතාගන්න බැරි උනා. නිකම් මට මවපු කෙනා මගේ ඉස්සරහට ඇවිල්ල මට අඳුරගන්න ඒක කිව්වා වගේනෙ. මම දැක්කනේ අපේ තාත්තා අම්මට සළකපු විදිය. මට හිතුණා ඒ වගේම කෙනෙක් ඔයාත් කියලා”
---------------------------

රාධාගේ මව්පියන් අතර මෙන්ම ඇගේ පවුල හා මගේ පවුල අතර පැවතියේද සෑහෙන පරතරයකි. නමුත් ඉතා උතුම් මිනිසකු වූ ඇගේ පියා ඒ ගැන කිසිත් සැළකුවේ නැත. රාධා ඔහුට මා මුලින්ම හඳුන්වා දුන් අවස්ථාවේම ‘පුතා” කියා මා ඇමතූ ඔහු එතැන් පටන් මට සැළකුවේ ඔහුගේම දරුවකු ලෙස ඉතා ලෙංගතු ආදරයකිනි.
සැබැවින්ම ඉතා කරුණාවන්ත පියෙකුගේ හා නිවුණු සුන්දර දියණියකගේ කැදැල්ල වූ රාධාගේ නිවහන සින නිවන තැනකි. විවිධ මලින් ගසින් පිරි අක්කර දෙකක වත්ත මැද තිබූ නිවස වටාද විශාල මිදුලක් විය. රාත්‍රී කෑමෙන් අනතුරුව මිදුල පෙනෙනා විසල් ජනේලය අසල ඇති පියානෝව වෙත හිඳගන්නා රාධා එය වාදනය කරයි. ඒ කෑම වේල්වලට මා සම්බන්ධ වූවාට පසු රාත්‍රියේ ඉස්තෝප්පුවේ වාඩි වී ගී ගැයීමට මමත් පුරුදු වීමි. මගේ ජීවිතයේ ඉතා මිහිරි සුන්දර කාලයක් ගෙවී ගියේ ඒ ලෙසය.
මාත් අම්මාත් තාත්තාත් අක්කාත් ආදරය දක්වන, ආදරය විඳි පවුලක් නොවේ.
මගේ පියා ඉතා කලාතුරකින් වචනයක් කටින් පිටකරනා කෙනෙකි. ඔහු වෙනුවෙන් කතා කළේ, නිවසේද, වතුපිටිවලද නෑදෑ යුතුකම්ද සියල්ල සොයාබලා කළේ අම්මාය. අම්මා දැඩි වෙහෙසකින්ද වසර ගණනක් ඒ වෙහෙස නොනැවතී විඳීමෙන් උපන් කළකිරීමකින්ද යුක්ත වූවාය. ඇය බොහෝ වේලාවල සිටියේ නොරිස්සුමෙනි. එය පියා, මම, අක්කා, කාලගුණය, මැසි මදුරුවන් වැනි ඕනෑම දෙයක් කෙරෙහි පොදුවේ යොමු වූවකි.
ඇය කතා කළේ සැරෙනි. ඇගේ බර ඇගේ උරෙන් ගෙන බිමින් තබන්නට සිතා අප උදව්වට ගියද,
 “එහෙනම් කෙරිල තියෙයි” ඈ අවඥාවෙන් කීවාය. අප අතුගාන මිදුලෙහි, සෝදන රෙද්දෙහි අඩුපාඩු සොයා අපට බනිමින් නැවත ඒ කාර්යය කළාය. අප තිදෙනාම ඇයට ඒවා කරගන්නට දී පාඩුවේ ඉන්නට පුරුදු වූයේ අනවරතව වූ ඔය සිද්ධිවල ප්‍රතිඵලයක් ලෙසය.

මට නිවස නිවනක් හෝ ප්‍රිය තැනක් වූයේ නැත. බොහෝ නිවෙස්වල අම්මලා ප්‍රිය වචන කතා කරන, ආදරය බෙදන ගැහැණු බව මා වටහා ගත්තේ මගේ මිතුරන්ගේ නිවෙස්වල ගිය විටය. කෙදිනක හෝ මෙවැනි නිවුණු ගැහැණියක සමඟ මෙවැනි කැදැල්ලක් සදන්නේය යන සිතුවිල්ල මගේ සිතේ අවිඥානකව පැන නගින්නට ඇත්තේ ඉතා යොවුන් වියේ විය යුතුය.
එබැවින් රාධා මා දුටුවේ කෙම්බිමක් ලෙසටය. ඇය මුදු කතාවෙන් සිනිඳු සිනාවෙන් මගේ සිතා නිවා සනසා සැමවිටම කටයුතු කළාය.
මා රාධාට පෙම් කරන බව දැනගත් උපකාරක පන්ති මධ්‍යස්ථානයේ මිතුරෝ සතුටු වූ බව මට පෙනුණි. එය කල්පනාබරව පිළිගත්තේ රාධාගේ ගමේම කොල්ලකු වූ නඳුන් පමණි. ඔහු දිනක් මා සමඟ අපේ නිවසටද පැමිණි මා හාද හිතවත්ව සිටි කෙනෙකි.

“ මචං උඹ සීරියස් නේද රාධා ගැන”

“හ්ම්”

“මං ඇත්තටම උඹලා දෙන්නටම තියෙන හිතවත්කමට දෙයක් කිව්වොත් උඹ මගේ කුහකකම හරි, ඊරිසියාව හරි කියලා හිතනවද?”

‘නෑ බං මොකද්ද”

“මචං, මං රාධාව දන්නේ පොඩිම කාලෙ ඉඳලා. මගෙම නංගි කෙනෙක් වගේ තමයි. ඒ උනාට බං ඒකි හැදිලා තියෙන්නේ හරි අමුතු රටාවකට. සාමාන්‍ය කෙල්ලො වගේ නැති, මේ ලෝකෙන් නිකම් වෙං වෙච්ච ලෝකෙක. හරිම සරලව, සිංදුවක් කියාගෙන, උඹට තේරෙනවනේ. මං මචං උඹලගේ ගෙදරත් ගියානෙ, මට හිතෙනව උඹට ඕක ප්‍රශ්නයක් වෙයි කියල. මොකද බං උඹලගෙ අම්මා ගෙදර බරක් කරට අරගන්න කෙනෙක්නේ. උඹට එහෙම කෙනෙක් එක්ක හැදිලා මේ වගේ කෙල්ලෙක්ගෙ අඩුපාඩු පේන්න පුලුවන්. අපි කොච්චර බඳින්න කලින් අපේ ගෙවල්වල අඩුපාඩු, වැරදි දැක්කට බං කසාදෙන් පස්සේ දවසෙ ඉඳන් අපිට ඒවා හරියට පේන්න පටන් ගන්නව. ඒ වෙනකම් කිසිම වැරැද්දක් නෑ වගේ පෙනිච්ච ගෑනිගෙ වැරදිම පේන්න පටන් ගන්නවා. අනික බං බඳිනව කියන්නේ උඹයි රාධයි විතරක් නෙවෙයි. උඹලගේ පවුල් දෙකත් එකතු වෙනවා”
මට නඳුන් පැවසුවේ බොරුවක් බව සිතුණේ නැත. නමුත් රාධාගේ පැළැන්තියේම වූ ඔහු සිතේ ඇති කුහකකමට එසේ කීවා යැයි මට සිතිණි. අනෙක් අතට දැන් මට මගේ සිත වෙනස් කරගැනීමේ හැකියාවක් තිබුණේද නැත.
“රාධාට ඕන කෙනෙක් එක්ක ඉන්න පුලුවන් බං. ඒකි මං වෙනුවෙන් ඕන දෙයක් ඉවසගෙන ඉන්න ජාතියෙ කෙල්ලෙක්.”
“උඹ එහෙම හිතන්නේ මේ වෙනකම් රාධා කිසිම හැලහැප්පීමකට මූන දෙනව උඹ දැකල නැති නිසා. මං උඹට කතාවක් කියන්නද? අපේ අම්මගේ යාලුවෙක් ඉන්නව බං‌ කොළඹ ඔය ලොකු ලොකු නෝනලට සාරි හදලා දෙන. දවසක් අම්මයි මායි ගියා. පිට කෝට්ටේ. එදා ඒ ඇන්ටි බීරලු සාරි ප්‍රදර්ශනයක් ඉවර වෙලා ඇවිත් හිටියේ. ඩමියකට අන්දලා තිබුණ ඒ සාරියක් දුන්න අපේ අම්මට. ඇත්දළ පාට පුදුම ලස්සන ලක්ෂ ගානක් වටින සාරියක්. අපේ අම්ම බං ඒක හරි ආසාවෙන් අරන් ඇවිත් ළඟ නෑයෙක්ගේ මඟුල් ගෙදරකට ඇන්ද. පුදුමෙ කියන්නේ එදා අර අච්චර ලස්සනට පෙනිච්ච සාරිය බං ඇඳගෙන ගියාම මහම අමුතුයි. අම්මගේ ඇඟටද, දාපු මාල වළලු හින්දද අනිත් මිනිස්සු පාට පාට ඇඳන් ආව හින්දද මන්ද අම්මත් හරි අපහසුවෙන් හිටියෙ. නිකම් විහිළුවක් උනා වගේ ඒක. එදායින් පස්සේ එළියටවත් ගත්තේ නැතුව මේ ළඟදි මං දැක්කා දෙකට කපල ගෙදර කෑම මේසෙට රෙද්දට දාලා තියෙනවා. ඒ වගේ තමයි මචං එක තැනක තියෙද්දි මාර වටිනවා වගේ පේන දෙයක් ඒකට හරියන්නෙ නැති තැනකදි කහල ගොඩක් වෙන්න පුලුවන්. මේ කෙල්ල මගේ නංගි කෙනෙක් වගේ, මං උඹටත් සහෝදරයෙක්ට වගේ ආදරෙයි. ඒකයි මං උඹ තරහ උනත් කමක් නෑ කියල මේක කිව්වේ”

“උඹ දන්නවා නේද මං රට යන්න දාලා තියෙන්නේ කියල. මට ගිහින් අවුරුදු දෙකක් ඉඳලා ආවට පස්සේ ඔය ප්‍රශ්න ගොඩක් විසඳෙයි”

“උඹට තේරෙන්නෑ බං මං කියන දේ. සල්ලි නෙවෙයි ප්‍රශ්නෙ. අන්කලුත් ප්‍රයිවට් ප්‍රැක්ටිස්වත් කරපු කෙනෙක් නෙවෙයිනෙ”

නඳුන් එදා තව බොහෝ දේ කීවේය. වැඩිමහලු සහෝදරයන් දෙදෙනෙකු හා සහෝදරියකු සිටි ඔහුට විවාහ හැළහැප්පීම් ගැන මනා අවබෝධයක් තිබුණී.
නමුත් එදා කතාවෙන් පසු මම තරයේ අදිටන් කරගත්තේ රාධා මගේ කරගන්නා බවය. විදේශගතව සෑහෙන මුදලක් උපයාගෙන හනික පැමිණ සොඳුරු කැදැල්ලක් සාදා රාධාගේ නිවස වැනි සංගීත අසපුවක් සාදා ගැනීමට මම තදින් අදිටන් කරගත්තේ එදාය.
----------------------

අපේ සුන්දර ආලයට පළමු පැල්ලම වැටුණේ දෙවනි ගමන දින රාත්‍රියේ අපේ නිවසේ රාත්‍රි ආහාර ගත්දීය.
එදා මගේ පියා සෑහෙන කලකින් තදින් බීමත්ව නිවසට පැමිණියේය. තම එකම පුතා ලොකු පවුලක හොඳ දුවක් බැඳ නිවසට ආ ප්‍රීතිය ඔහු මධුලෝලියකු ලෙස සමරන්නට ඇත. ඔහු එනතුරු බලා හිඳ අප කෑම කන්නට යන විට ඔහු ආවේය. පැමිණ මගේද රාධාගේද මුහුණු අතගාන්නටද සිඹින්නටද පටන් ගත්තේය.
“කටේ ගාගෙන ආවද මේ හොඳ දවසේ?”
අම්මාගේ වචන විසි වූයේ වෙඩිලි මෙනි. තාත්තාගේ හැසිරීම් නිසා දැඩි අපහසුවෙන් සිටි රාධා ගැස්සී යනු මම දුටුවෙමි. අම්මා දෙස ඔරවා මොහොතක් බලා සිටි තාත්තා ගෙයින් පිටතට විසිවෙමින් ගියේ කුටු කුටු ගාමිනි. එයින් විසිවූ නොසරුප් වදනක් දෙකක් අපගේ කන් වල වැටිණි. රාධා සිටියේ බය වී මෙනි. ඇය හරිහැටි කෑවේද නැත.

“දැන් මම බොන්නෙම නෑ පුතා. හැබැයි ඔය රට ඉඳන් එන යාලුවෙක් එහෙමම ස්කොච් විස්කි එකක් ගෙනාවොත් පොඩි ෂොට් එකක් ගන්නව” කියා සිනාසෙන රාධාගේ පියා මට මැවී පෙනුණි. රාධාගේ බිය නැති කරන්නට හෝ කුමක් කියන්නට දැයි මට වැටහුණේ නැත.
------------------------

“අර ළමයට කියපං අර දුහුල් එවා ඇඳන් එළියට යනව නං උඩින් මොකක් හරි දාගෙන යන්න කියල. ඔය කැළෑ මැද තියෙන බංගලාවල වගේ නෙවෙයි මෙහේ නිතර දෙවෙලේ මිනිස්සු එන පාර අයිනෙ.”
රාධා ඇන්දේ ලා නිල්, රෝස පැහැ වල කුඩා මල් කම් ලියකම් ඒ වර්ණයෙන්ම කෙරුණු සිනිඳු රෑ ඇඳුම්ය. ඇය මගේ නිවසේ සිටි පළමු සතියේ දිනක උදෑසනම ඇහැරී මිදුල අතුගාන්නට ගියේද ඒ ඇඳුමිනි. අම්මා මෙලෙස මට කීවේ ඉස්තෝප්පුවට පැමිණ රාධා අතුගාන දෙස මඳක් බලා සිටීමෙන් පසුවය.

“අපේ තැන්වල යද්දි වත් ඔය කණ පාටවල් නැතුව එළිය පාට ඇඳුමක් අන්දං පලයං. මහ මූසල කණවැන්දුම් පාටවල්මයි මේ ළමයා අඳින්නේ” 
මෙලෙස අම්මා රාධාට කිව යුතු දේ කීවේ මා හරහාය.
එබැවින් මා බියවූ පරිදි අම්මා හා රාධා අතර විශාල මත ගැටුම් ඇතිවූයේ නැත. අම්මා රාධාට දුව කියා ඇමතුවේ හෝ ආදරයක් දැක්වූයේ නැත. නමුත් ඇය රාධා හා දබර වූයේ නැත. එය මා බලාපොරොත්තු වූවාට වඩා හොඳ තත්වයකි.තාත්තා සුපුරුදු පරිදිම අප සියල්ලන් හා කතා නොකරම සිටි බැවින් ඔහුගෙන් ගැටළුවක් වූයේද නැත.
ඇනුම්පද කිව්වේද, රාධාගේ සිත රිදන වදන් කියූවේද අක්කාය.
රාධා මුලින් මේ ගැන හැඬුවාය. බියපත්ව දුක්බරව දින ගණන් ගත කළාය.
මගේ අක්කා අම්මාගේ හෝ තාත්තාගේ රුව දායාද කර නොගත් අවලස්සන යැයි කිව හැකි ගැහැණියකි. ඇය දුරට ඉගෙන ගත්තේ නැත. ඇයට කිසිදාක පෙම්වතකු සිටියේ නැත. ඇයට විවාහයක් කර දෙන්නට අම්මලාට වැඩි උවමනාවක් තිබුණේද නැත්තේ ඇයගේ ආවේගශීලී හැසිරීම් නිසා ඇය කෙසේ මිනිසකු හා ජීවත් වේදැයි ඔවුන් බිය වීම බව මගේ හැඟීමය. අම්මාගේ දැඩි ගතිගුණ හා පිහි පහරවල් මෙන් වන කතා බහ ඇයට නොඅඩුව ලැබී තිබුණි. රාධා සිත රිදවාගන්නා විට මට මෙසේ කියන්න සිතුණි.

“රාධා, රත්තරනේ, ඒත් ඉන්නේ ඔයා වගේ ගෑණියෙක්. ඔයාට තියෙන ලස්සන, රස්සාව, පිළිගැනීම, ඉගෙනීම, දේපළ, මනුස්සයෙක් ඒ කිසි දෙයක් නැති කෙනෙක්. ඒක හින්දා එයා ඔයාට ඊරිසියා කරනවා. හිත රිද්දලා සතුටු වෙනවා. ඒක තේරුම් ගන්න”

ඒත් ඒ මගේ අක්කාය. එසේ කීමෙන් අක්කා පහළට දැමීම සිදුවේ. එබැවින් පිරිමි ආඩම්බරය ඒ වචන මුවින් පිට කරන්නට මට ඉඩ දුන්නේ නැත. රාධා මට ආදරේය. ඇය මේ නොකී දේ තේරුම් ගෙන මගේ සිත සැනසෙන අයුරින් සිටිය යුතුය.
මා කීවේ “ඒ අක්කාගෙ හැටි රාධා, ඒව වෙනස් කරන්න මට බෑනෙ” කියා පමණි.
-------------------

මට රට රැකියාවට යන්නට ඉඩ ලැබුණේ විවාහ වී මාස කිහිපයකිනි. සේවා ගිවිසුම වසර දෙකකි. කර්මාන්ත ශාලාවේම නවාතැන්ද ආහාරද හිමිවේ. මසකට ලක්ෂ දහය ඉක්මවා වැටුප ලැබෙන බැවින් වසර දෙක අවසානයේ පැමිණ නිවසක් නිම කර, වාහනයක් ගෙන සැනසිල්ලේ සාමාන්‍ය රැකියාවක් කරගෙන ජීවත් වීම මගේ අරමුණ විය.
රාධාත් මවත් ජීවත් වූයේ ඇගේ පියා සමඟය. මා එනතුරු ඇයට එහි සිටිය හැකිය. ජිවිතය පිළිවෙළට මා එනතුරු ගත වනු ඇත. නමුත් දෛවය අපේ ජීවිත චෙස් ලෑල්ල සොලවන්නේ ඉත්තන් හරිම තැන තබා දිනන්ට ඇත්තේ තවත් එක පියවරක් පමණක් බව අප සිතන විටමය.
රාධාගේ පියා හෘදයාබාධයකින් මෙලොව හැර ගියේය. රාධා සිටියේ සිහිසුන් නැතිව මෙනි. අවමංගල්‍යය අවසන් වූ විට මුහුණ දෙන ප්‍රශ්න සිහි වූ විට මමද ක්ලාන්ත වන්නට ලං වීමි. මට යන්නට තිබුණේ මාසයකිනි. මිතුරකු දැඩි වෙහෙසක් දරා සොයා දුන් රැකියාව බැවින් නොයා බැරිය. මැද පෙරදිග රටක් බැවින් රාධා රැගෙන ගොස් නවතා වැඩ කිරීමද පහසු නොවේ.
රාධා මා එනතුරු සේවිකාවකද රියදුරුද සමඟ නිවසේ ඉන්නට හැකි බව කියූවත් පාලු අඩවියක පිහිටි ඒ නිවසේ ඇය තනිව තබන්නට මට සිත් දුන්නේ නැත. අවසානයේ මට ඉතිරි වූයේ සානුකම්පිත මාරුවක් ලබා ඇයව මගේ නිවස ආසන්න පාසලකට මාරු කර, මගේ නිවසේ නැවැත්වීමේ විකල්පය පමණි.
මා මෝඩයෙකු යැයි ඔබ දැන් සිතනු ඇත. මට නොපෙනී සිටින විට සියල්ල හරිහැටි සිදුවේ යැයිද, හාස්කමකින් මෙන් සියල්ල හරි ගොස් මා නැවත හැරී බලන විට සුරපුරයක් මැවී තිබේ යැයි බොරු බලාපොරොත්තු ඇති කර ගැනීම ඔබ අප බොහෝ දෙනාගේ හැටියකි. මමද හැසිරුණේ එලෙස මිස වෙනත් ආකාරයකින් නොවේ.
--------------

මගේ රැකියාව ගැන කියා ඔබ නොවෙහෙසමි. වෙහෙස වී වැඩ කිරීම යනු කුමක්දැයි මා එහිදී උගත් බව ඔබට කීම ප්‍රමාණවත්ය. වැටුපින් වැඩි කොටස රාධාට එව්වේ මහ ගෙදරට සැතපුම් කිහිපයක දුරින් පිහිටි අපේ කැදැල්ලේ වැඩ සඳහාය.
රාධා මට දිනපතා ඇමතුවාය. පෙර මෙන් සිනිඳු සුකොමළ දේ වෙනුවට පොළවේ පය ගසා, මහ පොළව මත ඇති දේ ගැනද ඇය කතා කළාය.
විවේක ලැබෙන විට අපූරු විසිත්ත කාමරවල, නිදන කාමරවල පින්‍තූර අන්තර්ජාලයෙන් සොයා ලා පැහැ සොඳුරු කැදැල්ලකට අවැසි තිර රෙදි, කුෂන් කවර, ඇඳ රෙදි ආදිය ඇනවුම් කර එකතු කළෙමි.
රාධා ආසා කරන සන්සුන් පාටවලින් ඇගේ කැදැල්ල සැරසීම මගේ අපේක්ෂාව විය.
--------------------

මගේ ජීවිත චෙස් ලෑල්ල නැවත සෙලවුණේ මා ලංකාවට යෑමට තෙමසක් තිබියදීය.
කොවිඩ් වසංගතය පැමිණ සංචාරක සීමා වැටුණෙන් මා සිතූ කාලයේදී යෑමට සිදුවූයේ නැත. සිදුවූ එකම යහපත නම් ගෙදර වැඩ කරන බාස්ලා වෙනත් පළාත්වලට යා නොහැකි නිසා ගෙදරටම කොටුවී වැඩ අවසන් කිරීමය. ගම්බද බැවින් එවැනි දේ වලට වැඩි බාධාවක් වූයේද නැත.
---------------------------------------

මා ආවේ නිවසේ වැඩ සෑහෙන දුරට අවසන් වී එය පදිංචි වීමට හැකි තත්වයට පත්වූවාට පසුවය. ගෙට ගෙවදීමද කුඩා උත්සවයක් ලෙසින් පැවැත්විණි. ඉන්පසු මා ගෙනා දේ අස්පස් කිරීමට බොහෝ වෙහෙස වීමට අපට සිදුවිය. අම්මලා නිවසට යාමට සැරසුණේ ඒ වැඩ අවසානයේය.

“අම්මේ නැවතිලා හෙට යන්නකෝ, මෙයා උදේ ගිහින් දායි”
රාධාගේ වචන ඇසුණු මම ප්‍රමෝදයට පත්වීමි. තමන් හා සැමියා තැනූ නව නිවසේ, නැදි මයිලන්ටද ඉන්නට පළමු දිනයේම ආරාධනා කරන ගැහැණිය කවුද? මම ජීවිතය දිනා ඇති බව මට එවිට සිතිණි.

“ඒ නං අපිට ආදරේට නෙවෙයි. මේ ඉතුරු ටිකත් අපිටම කියල අස්කරවගන්න”
ඒ අක්කාය. මට රාධාගේ මුහුණ බැලුවේ සමාව අයදින බැල්මකිනි. නමුත් මා සිතූ පරිදි රාධා කම්පාවට පත්ව සිටියේ නැත.

“නරක් වෙලා තියෙයි අලි දෙන වගේ නිකං කකා ඉන්න එකේ ඇඟ‌ හොල්ලලා එහෙම වැඩක් වත් කළාම”
කම්පනයට පත්වූයේ මාය. මා එය ඇසුවා දුටුවා මිස ඒ විෂ හී වැනි වචන පිටවූයේ මා පෙම්කළ ඒ සුන්දර කෝකිලාවගෙන් යැයි මා නොඅදහන්නට ඉඩ තිබිණි.

“නෑ අප්ප ගිහින් ඇඳට වැටෙන්න ඕන. හෙට ආයෙ එන්නං මේ පැත්තෙ. දුරක්යැ”
අම්මලා පිටව ගියේ ඒ වචන ගැන කිසි අමනාපයක් දුකක් නොපෙන්වමිනි.
-------------------

අපේ නිදන කාමරය සැරසී තිබුණේ තනි සුදෙනි. යාබද බැල්කනියේ මල් වැලින් සෙවණ වූ යකඩ බංකුවක්ද මා ඉදිකරන්නට කීවේ අතීතයේ මෙන් මියුරු සර විඳිමින් රැයෙහි ඇය හා කල් ගත කරන්නටය. මා ගුවන් තොටුපලෙන් ගෙන ආ ෂිරාස් රතු වයින් පෙට්ටියද, තවත් මධුවිතක්ද කාමරයට ගෙන ආවේ එතැනට වී ඇය හා දොඩමළුව වසර ගණනක් ඈත්ව නොකී කතා කීමට තිබූ නිසාය.
“ආ උස්සගෙන ආවද ගෙට ගෙවදින කොටම?”
රාධා නාන කාමරයේ සිට ආවේ එසේ කියාගෙනය. ඒ හ‌‌ෙඬහි වූයේ මා දන්නා මන්ද්‍ර ලතාව නොවේ.

“ඔයා ඕන එකක් කරලා බුදියගන්න මට නිදාගන්න ඕන. හෙට හතරටවත් නැගිටින්න වෙයි බාස්ලට උයල ඉස්කොලෙ යන්න”

“ඇයි ඔයා හෙට නිවාඩු නැද්ද? දවස් දෙක තුනක් නිවාඩු ගන්නකො රාධා අපි ටිකක් ඇවිදල එමු. මං මෙච්චර කාලෙකින් ඇවිල්ල”

“පළාත් තරඟ ලබන සතියේ. වාර විභාග නිසා උදේ පැය දෙකයි පුහුණු වෙන්න තියෙන්නේ. නොගිහින් බෑ මේ ටිකේ”

“අර තව ටීචර් කෙනෙක් ඉන්නවා කිව්ව නේද? මේ ටිකට එයාට බලන්න කියන්නකො”

“එහෙනං හොඳට කෙරිල තියෙයි” මා ජීවිත කාලය පුරා දහස් වරක් අවඥා මුවකින් ඇසූ ඒ වදන් මා පෙම් කළ, මා ආදරයෙන් සිප ගත් ඒ මුවින් පැවසුවේ මගේ සුන්දර රාධාම බව මට සිතාගන්නට බැරි විය.
----------------------

මම කිසිත් නොදොඩා බංකුවට වී ඈත බලා සිටියෙමි. මට හඬන්නට උවමනා විය. මට නඳුන් හමුවී කතාකරන්නට උවමනා විය.

“උඹ කියපු දේ උනේ නෑ. රාධා අපේ ගෙදර අය එක්ක ගැළපිලා. ඒත් ඒ මගේ රාධා නෙවෙයි. මගේ රාධා මට නැතිවුණා” කියා මට ඔහු වැළඳගෙන විලාප දෙන්නට සිතිණි.
මා කාමරයට ආවේ බොහෝ වේලාවකට පසුවය. මා ඇය වෙනුවෙන් ඇණවුම් කළ සුදු ඇඳ ඇතිරිලි මත, ගොරහැඬි කොළ හා කළු බතික් රෑ ඇඳුමකින් සැරසුණු රාධා ඒ වන විටත් තද නින්දකට වැටී සිටියාය.


Nissanka Rajapaksa

unread,
Aug 4, 2024, 7:59:14 PM8/4/24
to INDRAKA group
26
ප්‍රකම්පන

(1934 දී සාහිත්‍යය වෙනුවෙන් නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබූ ඉතාලි ජාතික Luigi Pirandello (1867 – 1936) ලේඛකයාගේ “ War” කෙටිකතාවේ පරිවර්තනය)

පරිවර්තනය – ධීතිකා නීලනයනා හේරත්

රෝමයේ සිට රාත්‍රී ශීඝ්‍රගාමී දුම්රියෙන් පැමිණි මගීන් හට, සල්මෝනාව හරහා යන පරණ තාලයේ කුඩා දුම්රිය එනතෙක් පසුදා පහන් වන තුරු ෆැබිරියානෝ කුඩා දුම්රියපොළේ රැඳී සිටින්නට සිදු විය.

අවමංගල ඇඳුමෙන් සැරසුණු, සිත් ගන්නා හැඩයක් නොමැති විසල් සිරුරින් යුතු වූ කතක්, රාත්‍රියේදී මගීන් පස් දෙනෙකු රැගෙන ආ දුමින් පිරුණු වාතාශ්‍රය අඩු දුම්රිය මැදිරියක් වෙතට ඇදුණාය. දීප්තිමත් වූත්, ලජ්ජාශීලී වූත්, නොසන්සුන් කුඩා දෑසකට උරුමකම් කියූ, සිහින් දුබල, සුදුමැලි වූ වතැති කුඩා මිනිසකු වූ ඇයගේ ස්වාමිපුරුෂයා, කෙඳිරිගාමින් ද, සිය පයිප්පයෙන් දුම්රොටු පිටකරමින් ද, ඇය පිටුපසින් ඇදුණේය.

අවසන අසුන් ගැනීමෙන් ඉක්බිති සිය බිරියට මැදිරියේ ඉඩකඩ සලසා දුන් මගීන්ට හෙතෙම, විනීත ලෙස ස්තූති කළේය. පසුව ගැහැනිය දෙසට හැරී ඇයගේ කබායේ කරපටිය සැකසීමට උත්සාහයක යෙදෙමින් හේ විනීතව විමසුවේය. “ ප්‍රශ්නයක් නෑ නේද මැණිකේ? ”

පිළිතුරු දීම වෙනුවට ඇය ගේ මුහුණ සඟවන පරිද්දෙන් ඕ කරපටිය නැවත ඉහළට ඔසවා ගත්තී ය.

“ නින්දිත ලෝකෙක හැටි ” දුක්බර සිනහවකින් යුතු වූ ස්වාමිපුරුෂයා මතුළේය.

යුද පිටිය කරා පියනඟන්නට යෙදුණු, ඇයගේ එකම දරුවා ගැන සොවින් තැවෙන අසරණ මව පිළිබඳව යමක් විස්තර කිරීම සුදුසු යැයි සිතූ මිනිසා ඒ සම්බන්ධව සිය මගී සගයින් ඉදිරියේ කරුණු ගෙන හැර තැබුවේය. ඔහු පුතු විසි වියේ පසු වූ තරුණයෙකි. සල්මෝනා හි පිහිටි තම ගෙදර පවා කඩා දමමින්, පුතුගේ අධ්‍යාපනය වෙනුවෙන් රෝමය වෙත පැමිණෙන්නට යෙදුණු ඔවුන් සිය පූර්ණ දිවියම කැප කළේ ඔහු වෙනුවෙනි. ඉනික්බිති, යුද හමුදාවට බැඳුණ ද, අවම වශයෙන් මාස හයකට යුද පෙරමුණට නොයන බවට සහතික වූ ඔහු, හදිසියේ ම තව දින තුනකින් එහි වාර්තා කිරීමට සිදු වී ඇති බැව් මාපියන් වෙත දන්වන ලදී. ඔහුගෙන් සමුගැනීම සිදු කරනු වස් මව්පිය යුවළ ඔහු කරා යන ගමනයි මේ.

ස්වාමියා ගෙන හැර පෑ, විස්තරයට සමාන එකම ඉරණමකට මුහුණ පෑ බහුතරයක් ගැවසි ඒ මැදිරියේ කිසිවකුගෙන් දයානුකම්පාවේ බින්දු මාත්‍රයක් හෝ නොලැබෙන බැව් හැඟී ගිය ගැහැනිය, විසල් කබාය තුළ ඇඹරෙමින් ද, නළියමින් ද, වරෙක වන සීපාවකු මෙන් කෝපයෙන් ද පිපුරුණාය. ඔවුනතරින් සුවිශේෂී අවධානයෙන් පසු වූ එකකු සිය හඬ අවදි කළේය. “ඔහේ දෙයියන්ට පින් දෙන්ට ඕන, මොකද ඔහේ ගේ පුතා පෙරමුණට යන්නේ මේ දැනුයි. මගේ පුතාට යුද්ධෙ පටන් ගත්ත පළමුවැනි දවසෙම යුද පිටියට යන්න වුණා. එයා දෙපාරක්ම තුවාල වෙලා ආපහු ඇවිත් ආයෙමත් පෙරමුණට ගියා. ”

“ඇයි මගේ ?  මගේ පුතාලා දෙන්නෙකුයි, බෑනලා තුන් දෙනෙකුයිත් ඉන්නේ පෙරමුණේ. ”

“ වෙන්ට ඇති, ඒත් මේ අපට ඉන්න එකම පුතා ” එඩි හඬකින් යුතුව ස්වාමි පුරුෂයා පැවසීය.

“ ඉතිං මොකක්ද ඒකෙ වෙනස? වැඩිපුර අවධානය යොමුකරලා ඔහේට පුළුවන් ඔහේ ගේ එකම පුතා නරක් කරගන්ට, ඒත් ඔහේට තව පුත්තු හිටියනං, ඔහේ එතකොට මේ පුතාට ආදරේ කරන්නේ කොච්චරක් ද? ඊට වැඩිය ආදරයක් දැන් මෙයා එකම පුතා වුණා ය කියලා කරන්නේ නැහැ. මව්පියන්ගේ ආදරේ කියන එක මේ පාන් පෙති කපනවා වගේ කෑලි වලට කපලා ළමයින් අතරේ සම සමව බෙදන්ට පුළුවන් දෙයක් නෙවෙයි. පියකු හැම දරුවකුටම එක විදියට ආදරෙයි, එක්කෙනෙක් වුණත්, දහයක් වුණත්, ඒක එහෙමයි. මම මගේ ළමයින් දෙන්නෙක් වෙනුවෙන් විඳවනව කියන්නේ, විඳවිල්ලෙන් බාගයක් එක ළමයෙක් වෙනුවෙනුත් අනිත් බාගෙ අනිත් එකා වෙනුවෙනුත් කියන එක නෙමෙයි නෙ, ඒ එක එකෙක් වෙනුවෙන් මා දෙගුණයක් විඳවනවය කියන එකයි මට කියන්ට තියෙන්නේ……..”

“ඇත්ත……..ඇත්ත……..” අපහසුතාවට පත් ස්වාමිපුරුෂයා සුසුම් හෙළීය.“ ඒත් හිතමු යුද පිටියට ගිය පුත්තු දෙන්නෙක් හිටපු පියකුට එක පුතෙක් නැති වුණත්, (අනේ හීනෙකින් වත් ඔහෙට එහෙම වෙන්න නම් එපා) සැනසෙන්නට තව පුතෙක් හරි ඉන්නවනේ……….. අනිත් කෙනා …….”

“ ඔව්” අනෙකා ඊට උරණ වූ ස්වරයෙන් හඬ අවදි කළේය. “ඒ තාත්තව සනසන්නට එක පුතකු ඉතිරි වෙනවා විතරක් නෙවෙයි, ඒ පුතා වෙනුවෙන් තාත්තට ජීවත් වෙන්ටත් සිද්ධ වෙනවා. ඒත් එක පුතකු ඉන්න පියකුගේ තත්ත්වය ඊට වෙනස්, පුතා මළොත් තාත්තටත් පුළුවන් ඒ එක්කම අවසන් ගමන් ගිහිල්ලා, එයාගෙ දුකට නැවතීමේ තිත තියන්ට. ඔය දෙකෙන් කොයි එකද වැඩිය නරක? ඔහෙට හිතෙන්නෙ නැද්ද මගේ තත්ත්වය ඔහේට වැඩිය භයානකයි කියලා”

“විකාර” අඳුරු ලේ පැහැයට හුරු දෑසැති, රතු මූණැති, තරබාරු වූ තවත් මගියකු බාධා කළේය.

ඔහු හති දමමින් සිටියේ ය. ඔහුගේ ඉදිරියට නෙරූ දෑස්, ඔහුගේ දුබල සිරුරේ අණසකට නතු නොවූ ඔහු සතු ජීව ශක්තියේ අභ්‍යන්තරික ප්‍රකම්පනය උසිගන්වන්නාක් බඳු විය.

“විකාර” ඉදිරිපස දත් දෙකක් රහිත වූ හෙතෙම එබැව් සඟවන්නට මෙන් සිය අතින් මුව වසා ගැනීමේ ප්‍රයත්නයක යෙදෙමින් පුනරුච්චාරණය කළේය. “විකාර, අපට ප්‍රයෝජන ගන්ට ද අප ළමයින් හැදුවෙ ?”

අනෙකුත් මගීහු ඔහු දෙස බලාපොරොත්තු සිඳුණු දෑසින් නෙත් යොමා සිටියහ. පළමු දිනයේ ම පෙරමුණට ගිය පුතු ගේ පියා සුසුම් හෙලීය. “ඔහේ හරි, අපේ ළමයි අපට අයිති නැහැ. උන් අයිති රටට………”

“සමයං” තරබාරු මගියා හරස් කැපුවේය. “ එතකොට අපි මේ ළමයින් හැදුවේ රට ගැන හිතලා ! අපේ ළමයි අපට ලැබුනෙ …….. හොඳයි, අපේ ළමයි අපට ලැබුණෙ උන් අපට ලැබෙන්ට ඕන හන්දා, උන් උපදින්නේ අපෙන් ජීවිතය අරගෙන. ඔන්න ඕකයි ඇත්ත. අප උන්ට අයිතියි. අපට උන් අයිති නැහැ. අවුරුදු විස්සේදී අප හිටියේ කොතනද, ඒගොල්ලන්ට අවුරුදු විස්ස ලබනකොට ඒගොල්ල ඉන්නෙත් එතැනයි. අපටත් අම්මා, තාත්තා හිටියා. ඒත් ඒ එක්කම තව දේවලුත් තිබුණා………. කෙල්ලන්, සිගරැට්, මායාවල්, අලුත් බැඳීම් ………. ඒත් එක්කම අම්මා තාත්තා එපා කිව්වත්, අවුරුදු විස්ස වෙද්දී රට වෙනුවෙන් කැප වෙන්ටත් අප ලකලෑස්ති වෙලා හිටියා. දැන් මේ අපේ වයසෙදීත් අපේ හිත්වල රට වෙනුවෙන් තියෙන කැක්කුම තාමත් ප්‍රබලයි, ඇත්තෙන් ම දරුවන්ට තියෙන ආදරේට වැඩිය ප්‍රබලයි, හා හොඳයි. පුළුවන්කමක් තියේ නම්, තමුන්ගෙ පුතා යුද පිටියේ ඉන්නේ කොතන ද අන්න ඒ තැන සන්තෝසෙන් භාර ගන්ට අකමැති කවුරුවත් මෙතන ඉන්නවද?”

නිහැඬියාවක් පැතිරුණි, ඔහු කී දේ අනුමත කරන පරිද්දෙන් සියල්ලෝම හිස වැනූහ.

“ඇයි?” තරබාරු මිනිසා නොකඩවා සිය කතාව කරගෙන ගියේය. “අපේ ළමයින්ට අවුරුදු විස්ස වෙනකොට ඒ ගොල්ලන්ගෙ හැඟීම් ගැන අපි හිතන්ට ඕන නැද්ද? ඒ ගොල්ලන්ගෙ හිත්වල අපට තියන ආදරයට වඩා රට ගැන දැනෙන හැඟීම ස්වාභාවික දෙයක් නෙමෙයිද? (මා ඇත්තෙන්ම මේ කතා කරන්නේ ගරු කටයුතු ළමයි ගැන) ජීවිතේ තිත්ත, නීරසකම, නින්දිතකම, මායාවල්වල අමිහිර කියන එක විඳවන්නෙ නැතුව, මිනිහකු තරුණ වයසෙදිම සතුටින් මැරෙනවා නම්………. ඒ මිනිහා වෙනුවෙන් අප තවත් යදින්නෙ මොනවද? හැම මිනිහකුම අඬන එක නවත්තන්නට ඕන, හැම මිනිහකුම හිනාවෙන්ට ඕන, හරියට මා වගේ……….. නැත්නම් අඩු තරමින් දෙයියන්නාන්සෙට ස්තූති කරන්න ඕන. හරියට මා කරනවා වගේ – මොකද මගේ පුතා මැරෙන්ට කලින් මට පණිවිඩයක් එවලා තිබුණා, කෙනෙකුට මැරෙන්ට පුළුවන් හොදම තෘප්තිමත්ම විදිය මොකක්ද ඔහුගේ ජීවිතය අවසන් වෙන්නෙත් ඒ විදියට නිසා සතුටෙන් මැරෙන්ට පුළුවන්ය කියලා. ඔහේලට පේනවා මා අවමඟුල් ඇඳුමවත් ඇඟට දාගත්තේ නැහැ, ඒ අන්න ඒ නිසයි………….”

එය අන්‍යයන්ට ඒත්තු යන පරිද්දෙන් හේ සිය ළා දුඹුරු කබාය සෙලවූයේය. ගිලිහුණු දත්වලට ඉහළින් පිහිටි ඔහුගේ අඳුරු රතු පැහැ උඩු තොල වෙව්ලමින් තිබුණි. සජල දෑස් චලනයෙන් තොර විය, ඉනික්බිති උස් ස්වරයකින් මතු වූ ඉකියක් බඳු වූ සිනහවකින් ඔහුගේ කතාව අවසන් විය.

“සහතික ඇත්ත…….සහතික ඇත්ත……..” සියල්ලෝ එකඟ වූහ.

පසුගිය තුන් මාසය පුරා සිය හදවත වෙලා ගත් දරුණු ශෝකය සමනය කරනු වස් ස්වාමිපුරුෂයා ගේ ද, මිතුරන් ගේ ද ඔවදන් තුළ කිසිදු සැනසීමක් සොයා ගත නොහැකි වූ ගැහැනිය, මරණයට නොව, හුදෙක් අන්තරායකාරී දිවිපැවැත්මකට සිය පුතු යොමුවීමෙන් පවා උපදින ශෝකය, මවක විසින් දැරිය යුත්තේ කෙසේද යන්න පසක් කරගනු වස් එකම එක සැනසුම් වදනක් සොයමින් කබාය තුළ ගුළි වී, මැදිරියේ මුල්ලකට වී නිහඬවම සියල්ල අසා සිටියාය. සිය ස්වාමිපුරුෂයා හා මිතුරන් පැවසූ කිසිදු වදනක ඇය සෙවූ සැනසිල්ල නොතිබුණි. ඇයගේ හැඟීම් බෙදාගනු වස් කිසිවකු නොමැති බව සිතත් ම එය ඇයගේ ශෝකය වඩ වඩා තීව්‍ර කළේය.

එහෙත් මොහොතකට පෙර හඬ අවදි කළ මගියාගේ වදන් කනවැකුණු ගැහැනිය අතිශයින් විස්මයට පත් වූවාය. ගැටලුව වූ කලි, අන්‍යයන්ට තමා තේරුම් ගැනීමට නොහැකි වීම නොව පුතුන්ගේ තාවකාලික වෙන්වීම පමණක් නොව, සදාකල් වියෝව ද, නිහඬවම දරා ගත් උත්තම මව්වරුන් සහ පියවරුන් සතු ආධ්‍යාත්මීය ශ්‍රේෂ්ඨත්වය තමා සතුව නොමැතිවීම බැව් ගැහැනිය ක්‍ෂණිකව පසක් කර ගත්තාය.

ඇය හිස එසවූවාය. කිසිදු තැවුලක් නොමැතිව සිය මාතෘ භූමිය වෙනුවෙන් විරුවකු ලෙස තම දිවිය පුද දුන්, තරබාරු මිනිසාගේ පුතු පිළිබඳව ඔහු පවසන දෙයට වඩා අවධාරණයෙන් ඇහුම්කන් දෙනු වස් ඕ තව තවත් ඉදිරියට නැඹුරු වූවාය. කිසිදින සිහිනෙන් හෝ නොදුටු නව ලොවක් වෙත ඇය පා තබන බවක් ඇයට හැඟුණි, සිය දරුවාගේ මරණය අකම්පිතව උසුලා සිටින මේ ගෞරවනීය පියා වෙත අනෙකුත් මගීන් සිය හෘදයාගම උණුසුම් සුබ පැතුම් පිරිනමන අයුරු ඕ සොම්නසින් බලා සිටියාය.

ඉනික්බිති, ක්‍ෂණිකව ම සිහිනයකින් අවදි වූ පරිදි, ඕ මෙතුවක් පැවසූ කිසිවක් නෑසුණු අයකු සේ, වියපත් මිනිසා දෙසට හැරී සිය මුව විවර කළාය.

“එතකොට………….. ඔයාගේ පුතා…………… ඔයාගේ පුතා………… ඇත්තටම මැරුණද?”

සියල්ලෝ ඇය දෙස දෑස් දල්වා බලා සිටියහ. ගැහැනිය දෙස බලනු වස් සිය අඳුරු විසල් සජල දෑස් ඇය වෙත යොමු කළ වියපත් මිනිසා ද, ඇය වෙත සිය දෑස් විහිදා බලා සිටියේය. ඉනික්බිති හේ පිළිතුරු දෙන්නට වෑයම් කළේය. එහෙත් ඔහුගේ මුවින් පිටවූ වදන් එකිනෙක පැටලුණි. තත්පර, විනාඩි ගත වී ගියේය. ඔහුගේ දෑස් ඇය මත ම රැඳී තිබුණි. ඉක්බිති ක්ෂණිකව අවස්ථාවෝචිත නොවූත්, මුග්ධ වූත් එකී පැනය ඔහුගේ පුතු මිය ගොස් ඇති බව ඔහුගෙන් සදහටම වියෝවී ඇති බව ඔහුට පසක් කළේය. ඔහුගේ මුහුණ කුඩා වී ගියේය, එය වේදනාවෙන් හැකිළුණි. ශෝකයෙන් ඇඹරුණි, සංවේගයෙන් විකෘති වුණි. ඉක්බිති ක්ෂණිකව සිය සාක්කුවෙන් ඇදගත් ලේන්සුව දෑසට තද කර ගත් මහලු මිනිසා සියල්ලන් විමතියට පත් කරමින්, හද කකියවන අනුවේදනීය වැලපුමක පුපුරා වැටීම දෝංකාර නංවමින් මහ හඬින් හඬා වැටුණේය.

https://www.silumina.lk/2024/08/03/news-features/22604/%E0%B6%B4%E0%B7%8A%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1/

Nissanka Rajapaksa

unread,
Aug 5, 2024, 8:20:37 PM8/5/24
to INDRAKA group
27
ලොකු එකා

- සුගතපාල මැන්දිස්

දෙපැයක ට වැඩි කාලයක් උදැල්ලත් එක්ක පොර බදමින් හුන් මා ගෙට ගොඩ වැදුණේ කෙටි විවේකයක් ගෙන ආපහු වංගියක් කොරටුවට යෑමේ අපේක්ෂාවෙනි. බිරියගෙන් වතුර ජෝගුවක් ඉල්ලා ගත් මා එය එක හුස්මට බීගෙන බීගෙන යන හැටි ඈ බලා හුන්නේ අයාගත්තු මුවෙනි. කිසිවක් නොබිණි බිරිය තේ කහට උගුරක් මට දිගු කළේ තවමත් නොපහව පැවති ඇගේ විශ්මිත දෑස මවෙත එල්ල කර ගෙන ය.

ඔය අතරේ ඉස්තෝප්පු කාමරයෙන් විළවුන් සුවඳක් වහනය වූයෙන් මා සැක සහිත සිතින් බිරිය වෙත නෙත් රඳවා ගත් විලාසය දැක උපහාසාත්මක හීන් හිනාවක් මුවෙහි රඳවා ගෙන සිටින්නී, මා කෙරෙහි පවත්නා ඇගේ මනස්තාපය වචනයෙන් කියන්නට නොහැකි නිසා වෙන්නට ඇත.

“ආහ්.... හරි හරි... මං ලෑස්තිවෙලා ඉන්නෙ... දැන් කොයි හරියෙ ද? එහෙම ද? හා හා රයිට් රායිට්... ඕකේ... ඕකේ... මං එහෙනං අපේ ළඟ හන්දියේ බලා ඉන්නවා...... රායිට්.. රායිට්...... චෙරියෝ.....”

ලොකු එකා කවුරුන් එක්ක දෝ ජංගමයා ඔස්සේ කතා කරපු ඒ වචන කීපය මහිතට ඇතුළු කළේ ලොකු කුකුසකි. මා බිරිය දිහා බැලුවත් ඈ හුන් ඉරියව්වෙහි ම හුන්නා මිස වෙනත් කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. ඔහු ජංගමයා හෙවත් මොබයිලා ඔස්සේ හුවමාරු කරගත්තු වචන ගිලිහුණේ කිසියම් ප්‍රසන්න බවෙකින් යයි මට හැඟුණි. මා දෙවැනි වරටත් කොල්ලාගේ අම්මා දිහා ඇස් රැඳ වුව ද ඇ කිසිදු හැඟීමක් දැනීමක් නැත්තියක සේ, මිදුලේ වැලි තලාවේ වැතිර ඒ පැත්තට මේ පැත්තට හැරෙන පෙරළෙන බැළලිය වෙත පෑ බැල්මෙන් සිටින්නී ය.

“ෂුහ්ග් හොර බැළලි” මගේ මුවෙන් ඒ වචන ගිලිහුණේ මටත් නො දැනිම ය. ඒත් ඈ නෙවේ මා කී වචන දෙක තුනට කනක් ගැහුවේ. ඈ ඇගේ ක්‍රියාවේ දිගට ම නියැළී සිටියි. මහිතට බැළලිය කෙරෙහි පැන නැංගේ අන් කවරදාකවත් ඇති නොවූ තරමේ කේන්තියකි. කිසිම සතකුට කිසිම විදියකින් හිංසාවක් පීඩාවක් නොකරමින්, මේ දක්වා මා රැක්ක වෘතය හිතෙන් පළා යන සෙයක් මට දැනේ. ඒත් බෝ ආයාසයකින් බැළලිය කෙරෙහි, හටගත්තු කේන්තිය පහකර ගන්නට දත කෑවෙමි.

ඈ අපේ ගෙදර හුරතලයට ඇති කරන හුරතලියක නොවේ. අයාලේ කඩා පාත්වී අපේ ගෙදරත්, යාබද ගෙවල් දෙක තුනකත් කරක් ගහන, මේ බැළලිය සමහර දවසට අපේ මිදුලේ ද මිදුලේ නැත්තං ගේ ඉස්සරහ ගුරු පාරේ ද, උඩුබැලි අතට දිගෑදී ඒ පැත්තට මේ පැත්තට දඟල දඟලා පෙරළෙන හැටි කී දවසක් නං මා දැක ඇද්ද? ඒත් අන් දිනවල කොයියම් ම වෙලාවකවත්, මට බීළාලියගේ මේ හැසිරීම කෙරෙහි කෝප හිතක් පහළ වී නැත. බොහෝ දවස්වල මිදුල අමදින විට ඇගේ වසුරු මිදුලේ කිසියම් තැනක දෙතැනක වසා දමා තිබෙනු දැක්ක වහා උදැල්ල ගෙන ඒවා ඉවත් කොට මිදුල අමදින්නට මට සිදු වෙතත් “මේ වල් බැළලි අදත් මිදුල ජරා කරලා නෙවැ” මුවින් පිට කරනවා මිස අඩු තරමින් පුංචි ගල් කැටයකින් වත් ඒ තිරිසනාට පහර දෙන්නට මගේ හිත නො කියයි. ඒ නිසා ම දෝ දවස් දෙක තුනකට වංගියක් බැළලිය අපේ මිදුල කෙළසයි.

තවත් මොහොතකින් මට දැකගන්නට හැකි වුණේ ලොකු වැදගත් ගමනක් යන්නට වගේ සැරසුණු ලොකු එකා ජැණ්ඩියට හැඳ පැලඳ ගෙන අප දෙන්නා පියමං කොට මිදුලට බහින හැටිය. වෙනදා ඒකා මටත්, බිරියටත් වැඳ ආශි්ර්වාද ලබා ගන්නට උත්සුක වුණත්, මේ දැන් ඒ සිරිත පිළිපැද්දේ නැත. කළු පාට ටීෂර්ට් එකකින් ද නිල් පාට දිගු ඩෙනිම් කලිසමකින් ද සැරහී, ලොකු පුතා මහ ලොක්කකු වගේ ඉක්මන් ඉක්මන් ගමනක යෙදෙන අයුරු, මා බලා ඉන්නේ හිතේ වගා දිගා වන නො රිස්සුම් බව බිරියටවත් නො පෙන්වමිනි.

බිරිය දිගු හුස්මක් ඉහළට ඇද පපුවේ රඳවා ගත්තු වග ඈ අසල ම පිලේ උක්කුටියෙන් හිඳින මට දැනුණි. ඈ උඩට ගත්තු හුස්ම එකවර පහ කළේ නැත. හීන් හඬින් හෙමි හෙමින් එය බැහැර කළා ය.

මා ඇගේ මුහුණ බැලුවා හැර එක කෙළ බිඳක් මුවෙන් බැහැර නො කළේ ඇගේ ප්‍රතිචාරය දැන කියා ගන්නට පහළ වුණු සිතැතිව යි. බිරිය ත් කිසිදු වචනයක් බැහැර නො කර බලා ගත්තු ඉරියව්වෙන් ම, මා අසල ම රැඳි ඉන්නේ මා හිස් කළ තේ පීරිසිය අතක රඳවා ගත්තු ගමන් ම ය.

ඒ මුහුණේ කිසියම් තැවුල් බවක් එල්ලී ඇතැ යි මට සිතේ. ඒත් මා නොවේ ඒ ගැන අහන්නට, අසා දැනගන්නට, නිකමටවත් හිතුවේ. පුතා අපේ ඇස්වලින් ඈත් වී දුරස් වී නො පෙනී යන තෙක් අප දෙදෙනාගේ ම නෙත් රැඳී පැවතියේ අපට පිටුපා යන ඔහුගේ රුව දිහාවට ය.

හැඩකාර ගජ ඉළන්දාරියකු සේ හොඳට උස් මහත් වී ඇති, ලොකු එකා කෙරෙහි මසිත ඇත්තේ පුදුමාකාර ආඩම්බරයකි. මගේ කල්පනාවේ හැටියට නම්, මබිරිය මව වඩා බෝ සෙයින් ඒ ගැන, ආඩම්බරයකින් සතුටකින් නිබඳව ම පසුවන වග මා හොඳින් දනී. ඒත් ඒ බවක් මා නොවේ නිකමටවත් කොයියම් ම වෙලාවකවත්, කටක් හැර ලොකු එකා කෙරෙහි හිතේ තැන්පත් ව පවතින සතුට, ආඩම්බරය ගැන කිව්වේ.

මා පිළේ වාඩිවි හිටිද්දී ගෙදර උන්දැ මා අසල ඉන්නේ ඉස්තෝප්පුවේ පිහිටි මැද කනුවට හේත්තුවක් දාගෙන ය.

අප දෙන්නා’තර විනාඩි කිහිපයක පැවති දැඩි නිහඬතාවය බිඳ හෙළන්නට මට සිතුණේ ඈ කෙරෙහි ත් ලොකු එකා කෙරෙහිත් ඇති වෙමින් මෝරා වැඩෙන කේන්තිය ඉවසල ඉවසල බැරිම තැන ය.

“කොහෙද අරය අර ජැණ්ඩියට ඇඳගෙන යන්නේ?” බැරිම තැන මම බිරිය ගෙන් විමසීමි. ඒ වන විටත් මහිතේ ලියලා වැඩෙමින් පැවති අනිසි කෝපය තව තවත් වැඩිවෙමින් පැවතිණි.

දිගු හුස්මකින් ආපහු වංගියක් ළය පුරවා ගත්තු ඇගේ කටහඬ මගේ දෙසවන්පත් අතරට රිංගෙව්වා ය.

“කොළඹ”

“කොළඹ?” ඈ දුන් උත්තරය ප්‍රශ්නයක් කරගනිමින් පෙරළා විමසුවෙමි මම.

“ඔව්.... කොළඹ” මබිරිය දෙවන වරටත් කොළඹ යැයි තෙපලුවේ ඔව් යන්නද එක් කරමිනි.

“අර මක්කටෙයි?”

විශ්මය දනවමින් මා මුවින් පිට වුණේ මට ද නො දැනුවත් ව ය.

“හ්ම්.... හනේ මං දන්නෑ... ඔහෙට අහන්න තිබුණා නෙවැ මගෙන් අහන්නේ පුත්තරයගෙන්” ඈ පිළිවදන් බැන්දේ මොකක්දෝ නුරුස්නා බවකින් වග මට ටග්ගාලා තේරුණි.

මම කිසිවක් නො බිණියෙමි.

“ඔය මොකක් ද උපවාසයක් තියෙනව ලු කොළඹ. ආන්න ඒකට”

”උපවාසයක්... ??”

“හ්ම්... උපවාසයක් ය කියා තමා ලොකු පුතා කිව්වෙ”

“උපවාසයක්.... උපවාසයක්.... හනේ එක වේලක් බඩගින්නෙ ඉන්න බැරි එකා, කොහොම ද ඕයි උපවාස කොරන්නෙ?”

“ඒක හැබෑව... ඒක හැබෑව තමා... ඉතින් හනේ මං දන්නෑ”

“කාටද අර කිව්වෙ එයා ගේ ළඟ හන්දියෙ ඉන්නං කියා....”

“තව කට්ටියක් එක්ක නෙවැ යනව යැ කීවෙ.”

“මට ඇහුණෙ කවුරු හරි ගෑනු ළමයකුගෙ හඬක් !”

“වෙන්නැති.. යාළුවො කට්ටියක් එනවලු... ඔය ෆේස්බුක් යාළුවො ය කියනවා නෙවැ.”

“ෆේස්බුක් යාළුවො....” එය ම ප්‍රතිරාවය කළ මා බිරිය වෙත පෑවේ සැකයක් බියක් හා විශ්මයක් එකට කැටිකොට ගත්තු දෑසකි. ඒ සැකය බිය හා විශ්මය ඇගේ වත කමලේ ද එල්ලී තිබෙන අයුරු මට පෙනුණි.

“පෙනුණා නේ ඒකාගෙ තිබුණු රැස්පොට් එක. මේ අම්ම ය මේ තාත්ත ය කියා කිසිම ගරුසරුවක් නැතිව නෙවැ ඒකා ගෙයින් එළියට බැහැලා ගියේ.

බිරිය ගේ මුවෙන් බැහැර වූයේ දිගු හීල්ලීමකි. මා ඈ සේ හීල්ලුවේ නැත. ඒත් මහිත අස්සෙ මොකක්දෝ විස්තර කළ නො හැකි අන්දමේ කිසියම් ආකාරයක දැඩි වේදනාවක් එල්බ ඇති වග ඈ තේරුම් ගන්නට ඇත.

“ඌ දැන් මහ ලොක්කෙක් වෙලා වගේ. වෙනදා තිබුණු යහපත් ගතිගුණ දැන් දැන් ලොකු එකාගෙන් ගිලිහෙනවා වගෙයි මට නං තේරෙන්නෙ‘”

බිරිය ආපහු වංගියක් හූල්ලන්නට පටන් ගත්තා ය. ලොකු පුතාගේ හදිසි වෙනස්විම ඈටත් හොඳින් ම දැනී තේරී ඇති වග ඇගේ ඒ හීල්ලීමෙන් මට ගම්‍ය විය.

“ඇයි ඉතින් ඔහේ නෙවැ ඒකා දොං කොරන්නෙ.... ඌ ඉල්ලන ඉල්ලන දේ අරන් දෙන්නෙ ඔහේ නෙවැ. මං කොච්චරක් නං කියල තියෙනව ද දරුවන් ඉල්ලන ඉල්ලන දේවල් දෙන්න එපා ය කියා. කොහෙද ඔහේ මං කියන කිසිම දෙයක් කනකට ගන්නව යැ.”

මගේ කීමට ඈට කේන්තියක් හට ගත්තේ ය. ඒ වග මට පෙන්නන්නට ඈ නොරිස්සුම් සහගත බැල්මකින් වත සරහා ගත්තී ය.

“ඔය ෆේස්බුක් යාළුවො ගැන කොච්චරවත් පත්තරවල තියෙනවාය කියන එක මං කී දවසක් ඔහෙට කිව්ව ද? ඔහේ කිව්වෙ නැද්ද මං එහෙම කියපු කතාව ලොකු පුතාට” හඬ වෙනස් කරමින් මම කීවෙමි.

“මොකද නැත්තෙ මං කීව... කීවා.... ලොකු පුතා කියන්නෙ දැන් කාලෙ තාත්තලගෙ කාලෙ වගේ නෙවෙයි කියා... මේවට වැරදිකාරයො අපි නෙවේ ය අම්මලා තාත්තලා ය කියලා”

පුතා කිව්ව ය කියන කතාව ඈ එහෙම කිව්වහම මට ඇති වුණේ මා ගැන වූ දුකක් ද එහෙමත් නැත්තං පුතා කෙරෙහි හට ගත්තු දුකක් දැ යි කියන්නට මට නො තේරේ. කොහොම වුණත් මම අන්දමන්ද වීමි. තුෂ්ණිම්භූත විමි.

“හ්ම්.... ඒකත් එහෙම යි එහෙනං.... කියන දේ නාහන ගුරු ඉහළ ගියත් අපට මොකෝ.. පහළ ගියත් අපට මොකෝ... කියල කියන්නට තරං නෝබිනා අප්පච්චි කෙනෙක් නෙවෙයි මං.... හැබැයි ඉතින් දැන් දැන් ලොකු එකාට ලොකුවෙලා තියෙන්නෙ ඒකා වදපු අම්මා වෙච්ච ඔහේවත් ජාතක කරපු මේ තාත්තවත් නෙවෙයි.... මතකයි නෙවැ 71 කාලේ... මතක යි නෙවැ ඔහෙට අසූ අටේ අසූ නමේ කාලේ... එතකොට මේකා ඉපදුණේ ඊට හවුරුදු හතරකට විතර කලින් නෙවැ. ඉතින් ඒ කාලෙ දේවල් මං කට කැඩෙනකං කියල දුන්නත් ලොකු එකා ඒ මොකක්කත් ම ඔළුවට අරන් නෑ. මට දැන් බය අනෙක් දෙන්න යි පොඩි කෙල්ල යි ගැන. එවුනුත් මූ වගේ ම අම්මා තාත්තා කියන දෙයක් ගණනකට ගන්නෙ නැතිව ලොකු එකා ම අනුකරණය කළොත් කියන එක....”

තවත් ටික වෙලාවකින් බස් එකක් පාරෙ නවත්තන සද්දෙත් ඒකට ලොකු එකා ගොඩවෙන අයුරුත් මගෙත් බිරියගෙත් ඇස්වලට යාංතමින් අසුවුණි. ඒ හෙවණැල්ලක් බඳුව ය. ඈ දෑස ලොකු කරන් බස් එකේ කටිටිය දිහා බලා හිටිද්දි මං දැක්කේ කළු පාට බැනියම් ඇඳගත්තු කොල්ලන් කෙල්ලන් රොත්තක් සටන් පාඨ කිය කියා කළු කොඩි වන වනා ඉන්න හැටි. ලොකු එකා බස් එකට ගොඩ වෙන්නත් කලින් ඒක ඉස්සරහට ඇදුණේ අර කොල්ලන්ගෙයි කෙල්ලන්ගෙයි වියරු ඝෝෂාකාරී හඬ පළාත දෙදරව දෙදරවා නැඟුණු දෝංකාරයෙනි. ඔවුන් බොහොම දෙනකු සම වයසේ ය. කීප දෙනකු අපේ එකාට වඩා හවුරුදු හත අටකින් විතර වැඩිමාල් විය හැකි ය.

මොවුන් ගේ එකායන පරමාර්ථය ඔවුන්ගේ ම ආණ්ඩුවක් ඇරඹීමට සටන් වැදීම යැ යි එක හඬින් කෑ ගා කියන සටන් පාඨය මදෙසවන් පත් අතර නින්නාද වෙද්දී හටගත්තු හැඟීම් මොන වගේ දැ යි කියන්නට මම බියවෙමි. ඒ බිය මබිරියගේ හිතෙහි ද වැඩී ඇති සෙයකි. ඈ නිකටේ අත්ලක් රඳවා ගනිද්දි මා හිතෙන් විඳින පිඩාව කොච්චරක් ද කියන්න දන්නේ මා පමණි.

“කොල්ලො කියන එකෙත් ඇත්තක් තියෙනවා.... අපේ එකා නං කියන්නෙ ඔක්කොම එකෙයි කියා. උන් ඔක්කොම තොලොංචි කරන කං උපවාසෙ කොරන්න රට පුරයින් ම කට්ටිය එකා වගේ පෙළ ගැහිල ලු ඉන්නෙ. රටට යහපතක් වෙනව නං මැරණත් කමක් නෑ කිය කියා දැන් සති ගණනාවක් ම අපේ එකා එක එක්කෙනාට ටැලිපෝන් කර කර කියනව මට ඇහිලා තියෙනවා. එහෙම ඇහිලා මං කීප වංගියක් ම ලොකු පුතාට දොස් කිව්වා....”

“ඉතින්?”

“ඉතින් ලොකු පුතා මටත් අනන්මනන් කිව්වා.... මං කොල්ලට මුකුත් කියන්න ගියේ නෑ. මොකද දැන් ඉතින් එහෙම කියන්න පුළුවන් කාලයක් යැ. මොකක් හරි කොරගත්තොත් කියන බය මගේ හිතට ඔට්ටු වෙනවා දැන් දැන් නිතර ම පාහේ. පුළුවන් තරං හොඳින් කියල හදාගන්න බලනවා මිසක්කා”

රාත්තිරියේ රූපවාහිනී ප්‍රවෘත්ති බලද්දී මා දැක්කේ අපේ ලොකු එකා ද සටන් පාඨ කියමින් ගිරිය පුප්පන් අතොරක් නැතිව කෑගාන හැටි ය. කොටුවෙ රේල් ඉස්ටේසම ළඟින් පටන් ගත්තු විරෝධතා පා ගමන ඉස්සරහට ඇදෙන්නේ කොටුව දිහාවට බව සජීවී විස්තර විචාරයක් ඉදිරිපත් කරන රූපවාහිනී ශිල්පියාගේ හඬ අහවරයක් නැතිව කියන්නේ රටවැසියන් සියලු දෙනා ඒ පැත්තට ගෙන්නා ගන්නට කරන ඇරයුමක් නොකියා කියමින් සේ ය.. පොලිසියේ කැරලි මර්දන නිලධාරීන් ගල් තොප්පිවලින් සැරහී බැටන් පොලු පස්සට කරන් හිටින හැටියට මට හැඟුණේ ඔන්න මේ දැන් දැන් පොලිස් බැටන් පොලු කොල්ලන්ගේ කෙල්ලනගේ ඔළුගෙඩි මතට පාත්වේ ය කියා යි. එයින් මහද සසල වෙයි.... හිතට දැනෙන්නේ මහත් බියකි. ඒ බය අපේ මායියටත් ඇති වෙච්ච නිසා ම ඈ පසුවන්නේ මහත් විස්සෝප හිතකිනි. ඇගේ මුවින් කිසිවක් කියැවුණ ද රූපවාහිනියෙන් පෙනෙන අපේ එකාලගෙන් නැඟෙන ඝෝෂාවෙන් මායියා කියුවේ මොකක්දැ යි මට වැටහුණේ නැත. තේරුණේ නැත. මගේ ඇස් දෙක රූපවාහිනී තිරය විසින් අල්ලා ගෙන ඇත්තේ හිත පුරා නැඟෙන ලොකු බයක් විසින් මගේ හෘදයේ ස්පන්දනය මොහොතින් මොහොත වඩාත් වැඩි කරවමිනි.

අපේ එකා ළඟින් ම තව සිය ගණනක්, දාස් ගණනක් නඟන හඬ කොළඹ රටේ විතරක් නෙවේ මේ දැන් අපේ ගංගොඩේ ආකාහේ පවා දෝංකාරයෙන් පිරී ඇති සෙයකි. මට හිතෙන්නේ ම එහෙම ය.

“ඇයි මනුස්සයෝ තමුසෙට මතක නැද්ද තමුසෙලා ස්ට්‍රයික් කරල මාසෙයක් යන්නත් කලින් තමුසෙත් ජනාධිපති මාළිගාව ඉස්සරහ පාරේ විරෝදෙ යෙදිලා පොලිසියෙන් සබ්බුව කාලා අතපය මූණකට තුවාල කරන් ගෙදර ආපු හැටි..... ” අපේ මායියා එහෙම කියල මෙහෙමත් කීවා ය.

“අප්ප කළ දේ, පුතා නොකළොත් ඌ නොට්ටියෙ පුතා කියනවා නෙවැ.....”

එතකොට ඔය අපේ එකත් එක්ක හරි හරියට ආණ්ඩුවට බැණ බැණ පෙළපාලියෙන් උපවාසෙට යන ඔක්කොගෙම මං වගේ අප්පොච්චිලාගේ පුත්තුයි, දූලයි තමා එහෙනං. කොච්චර දෙයක් දැ? අපට හරි අවංක එඩිතර, ඍජු නායකත්වයක් තිබුණ නං එදා..... දැන් බලනවා අද කාලේ. ඉස්පිරිතාලවල දොස්තර ලා නැත්තං නර්ස් ලා, අතුරු වෛද්‍ය සේවේ නැත්තං කම්කරුවන් කවුරුන් හරි කට්ටියක් ස්ට්‍රයික්... ස්ට්‍රියික්.... එදා අපේ වර්ජනයට සෞඛ්‍ය සේවේ ඒකට කැඳවූයේ නෑ. මොකද එහෙම කළා නං ඉතින් ඉස්පිරිතාලවලට එන අහිංසක දුප්පත් ලෙඩ්ඩු කී සීයක් මැරිල ද? අපි එහෙනං එදා අපේ හටන දිනුම්... ඒත් අද කොහොමදැ...? හැමෝටම කලින් වර්ජන පටන් ගන්නෙ දොස්තරලා නර්ස්ලා... අහිංසක දුප්පත් මිනිස්සු ඒ ගොල්ලන්ගෙ ප්‍රාණ ඇපේට අරන්... වර්ජන කරන සෞඛ්‍යසේවෙ... සෞඛ්‍යසේවේ.... සෞඛ්‍ය වෘත්තිය සමිති වර්ජනේට හවුල් කර ගත්තා නං රස්සාව නැතිවෙලා තමන්ගෙ දරුපවුල් ආරක්ෂා කර ගන්න බැරිව සියදිවි නහගත්තු වර්ජකයන් එක්කෙනකුවත් එහෙම මැරෙන්නෙ නෑ. එහෙම යි මං විශ්වාස කරන්නේ” මං එහෙම කියල විදුලි කම්බි කනුව දිහා බැලුවෙ ඉබේට ම.

ම හිත මහත් වූ වේදනාවකින් පිරෙන්න මහ වෙලාවක් ගත නොවිණි. ඒ ලොකු එකා එක්ක හරි හරියට ආණ්ඩු විරෝධීව උද්ගෝෂණයේ නියැළෙන, දාස් ගණනක් කොල්ලන් කෙල්ලන් කෙරෙහි ද, නො එසේ නම් ආණ්ඩුව කෙරෙහි ද, එහෙමත් නැතිනං මා කෙරෙහි ද යන්න හිතාගන්නට බැරිව රූපවාහිනියේ රැඳවූ දෑස, ඉවත් කර නොගෙන ම හුන් මට, පුටුවේ ම නින්ද ගියාදෝ කියන්නට පවා මං නොදනී.


Nissanka Rajapaksa

unread,
Aug 6, 2024, 8:44:26 PM8/6/24
to INDRAKA group
28

ඉතුරු සතේට

සෝමරත්න බාලසූරිය මහතාගේ පඳුරුගසා කිරිවැදිලා නම් කෙටිකතා සංග්‍රහයෙන් උපුටා ගෙන 2023 වසරේ සිංහල 5 ශ්‍රේණි පොතට ඇතුළත් වූවකි.








Nissanka Rajapaksa

unread,
Aug 7, 2024, 10:17:04 PM8/7/24
to INDRAKA group
29

මියගිය ලේඛකයා

- ගාමිණි ලිවේරා 

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරි අසුනට බර වී සිටින සංජීව දයාසේන, තමා ඉදිරියේ මේසය මත ඇති කඩදාසි ගොනු දෙස බලාගෙන දිගු කල්පනාවක නිරතව සිටියේය. අද තමන්ගේ ආයතනයට ලැබුණ විශේෂිත වූ ලිපිය ද පසෙකින් තිබේ. එය අතට ගත් ඔහු මහත් ඕනෑකමකින් යළිත් වරක් කියවා බැලීය. ලිපිය බෙහෙවින් ප්‍රියජනක වුවත් ඉන් ඔහු තුළ ඇතිවන්නේ දුක්ඛිත සිතුවිල්ලකි.

එවන් කලාකරුවකු සොයා තමා මීට මාස කිහිපයකට පෙර කළ ගවේෂණයත් ඉන් හමු වූ දුක්ඛිත තොරතුරුත් ඔහුට දිගින් දිගටම සිහිපත් වෙයි. ඒ තොරතුරු බෙදා ගැනීමට ද ලේකම් කාර්යාලයේ සිටියේ සුළු පිරිසක් පමණකි. වාසනාවකට මෙන් ඒ අතර උසස් නිලතල දරන අය කීප දෙනකුන් මෙන් ම ප්‍රධාන ලේකම්තුමිය ද සිටියා.

“සංජීව මහත්තය අපි කලාව මිනිස්සුන්ගෙන් ඈත් නොවී තියාගන්න පුළුවන් හැම දෙයක්ම කරන්න ඕනෙ. නීතියෙන් මිනිසාගේ හික්මවීමක් සිදුවුණාට, මිනිහා සෞම්‍ය පිරිපුන් ජීවියෙක් බවට පත්වන්නෙ කලාවෙන්” එතුමිය දවසක් පැවසුවේ ඊට වසර ගණනකට පෙර, ප්‍රාදේශීය සාහිත්‍ය තරගයකට ප්‍රදේශයේ ලේඛකයකු ලියූ කෙටි කතාවක් අතේ තබාගෙනය.

එවිට තමා තුළ ඇති වූ ප්‍රබෝධය සංජීවට මේ දැන් මෙන් මතකය. මන්දයත් තමා මෙන්ම සාහිත්‍යයට හිතෛෂීකම් පාන ප්‍රධානියකු යටතේ සේවය කරන්න ලැබීම ඔහු සැලකුවේ මහත් භාග්‍යයක් කොටය.

“සංජීව මට මේ කෙටිකතාව හම්බ වුණේ කබඩ් එකක් ඇතුළෙ තිබිල. මේ පළාතෙම මනුෂ්‍යයෙක් තමයි මේක අපේ කාර්යාලයෙන් පවත්වපු තරගයකට ඉදිරිපත් කරල තියෙන්නෙ. කෙටි කතන්දරයක් නෙමෙයි, මේක කෙටිකතාවක්. චෙකෝෆ්ලා, ගෝර්කිලා, ගී ද මෝපසාන්ලා, ඔස්කා වයිඩ්ලා වගේ ලේඛකයන් ලීව කෙටිකතාවල තියෙන හැම අංගයක්ම මේ කෙටිකතාවෙත් තියෙනව. ගමේ ගොඩේ ඉන්න, කිසි හව්හරණයක් නැතිව ගරා වැටෙන මේ වගේ නියම ලේඛකයන්ව අපි ආරක්ෂා කරගන්න ඕනෙ. ඔයා පොඩ්ඩක් ගිහිල්ල ඔය මනුස්සයා ගැන හොයල බලන්න.”

”මම අදම යන්නම් මැඩම් එයාව මුණ ගැහෙන්න.”

“කලබල වෙන්න කාරි නෑ සංජීව. ඉස්සරල මේක කියවල බලන්න. අද අපේ වාහනෙත් නෑ. හෙට වාහනේ ආවාම සංජීවට පුළුවනි ගිහින් ඒ මනුස්සයව හම්බ වෙලා බලන්න.”

“නෑ මැඩම් මට බයිසිකලයෙන් යන්න පුළුවන් හෙට වෙනකම් ඉන්න ඕනෙ නෑ.” ඔහු කීවේ ප්‍රධානියා දුන් කෙටිකතා පිටපත අතට ගනිමිනි.

තමනුත් ලේකම්තුමියත් අලුතින් මාරුවීම් ලබා මෙම කාර්යාලයට පැමිණි අලුත වූ ඒ සිදුවීම සංජීවට අද වගේ මතකය.

ඊළඟට ඔහුට සිහිපත් වන්නට වූවේ අර කෙටිකතාව ලියූ පොඩි බණ්ඩා නම් ලේඛකයා සොයා එදා ගිය ගමනය.

එදා ඔහු, කෙටිකතාව කියැවීමෙන් පසුව ඒ මොහොතේම ලේඛකයා සොයා යන්නට වූවේ කතාව තුළින් මනාව පිළිබිඹු වූ ප්‍රතිභාව නිසාය. නිර්මාණය ඉදිරිපත් කර තිබුණ අයදුම්පතේ ලිපිනය අනුව ඔහු තම මෝටර් බයිසිකලයෙන් පොඩි බණ්ඩා සොයාගෙන යන්නට වූයේ තවත් සහායකුව ද කැඳවාගෙනය.

“අපි පොඩි බණ්ඩව ඉක්මනින්ම මැඩම්ට මුණගස්සවන්න ඕනෙ. මම හිතන්නෙ ඔය මනුස්සයගෙන් සාහිත්‍යයට ලොකු සේවයක් කරව ගන්න පුළුවන්.” සංජීව තම මිතුරාට පැවසීය.

ඔවුහු පොඩි බණ්ඩලාගේ වත්තේ ගෙවල් ඉදිරිපිට ගේට්ටුව අසලට පැමිණ කීප වරක්ම නළාව නාද කළෝය. ගලෙන් බිත්ති බැඳ උළු සෙවිලි කර තිබුණ නිවහන අලුතින් ගොඩ නැඟූවක් ලෙසින් පෙනුණි.

තරබාරු කාන්තාවක් ඇඳුමට පිටින් දවටානෙ සිටි රෙදි කඩින් එක් අතක් පිස දමමින් පැමිණියාය. ඇය මුහුණට සිනාවක් නංවා ගත්තත් එහි එතරම් ප්‍රසන්න බවක් නොවීය.

“මේකද පොඩි බණ්ඩ මහත්තයලගෙ ගෙදර?” සංජීව හැකිතරම් සුහද ලෙසින් ඇසුවේය. ‍

“ඔව් මේක තමයි. මේ මහත්තයල කොහෙන්ද?” ඇගේ නළලේ රැලි ප්‍රමාණය සැණෙකින් වැඩි විය.

“අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්.”

“අපි ආවෙ පොඩි බණ්ඩ මහත්තයව හම්බ වෙන්නයි.”

එවිට ඇගේ මුහුණට නැඟුණේ ශෝකී නොව උපහාසාත්මක පෙනුමකි. “එයා නැති වෙලා දැන් අවුරුදු දෙකක් විතර වෙනවා.”

නිලධාරීන් දෙදෙනා ඔවුනොවුන්ගේ මුහුණු බලා ගත්හ.

“අපට පොඩි බණ්ඩ මහත්තය ගැන තොරතුරු ටිකක් අහගන්න පුළුවන් ද?”

“මොකටද?” කාන්තාව කතා කරන්නේ එතරම් ප්‍රසන්න ලෙසකට නොවේය.

ඇය මෙල්ල කරගත හැකි ක්‍රමයක් කල්පනා කළ සංජීව මෙසේ කීවේය. “අපිව එව්වෙ ලේකම් මැඩම්, පොඩි බණ්ඩ මහත්තය ගැන තොරතුරු ටිකක් හොයාගෙන එන්න කියලා.”

කාන්තාව මඳක් තැන් කල්පනා කර බලන්නට වූවාය. සමහරවිට වාසිදායක දෙයක් වන්නට ද බැරි නැතැයි ඇයට සිතෙන්නට ඇත.

“හා.. එන්නකො බලන්න.” ඇය ඉස්සර වී ගමන් කරන්නට වූවාය.

“මම මේ උය උය ඉඳලයි ආවෙ… ඉඳ ගන්නකො ඔය දෙන්නත්.” පුටු තබා ඇති දිසාව හිසෙන් පෙන්වමින් ඇය කීවාය. “මොනවද දැනගන්න ඕනෙ?”

“ජී. ඒ. මැඩම් ඇහැව්ව පොඩි බණ්ඩ මහත්තය ලීව තව මොනව හරි තියෙනවද කියල.”

“මොනව තියෙනවද කියල නම් දන්නෙ නෑ. එයා නිදහසේ ලියන්න කියවන්න ඕනෙ කියල අපේ පරණ ගෙයි කාමරයක් හරි ගස්සවගෙන එතැන තමයි පදිංචි වෙලා හිටියෙ. කොහෙද එයා ඉස්කෝලෙන් පැන්ෂොන් ගත්තට පස්සෙ ප්‍රයෝජනවත් දෙයක් කෙරුවෙ නෑනෙ. ඔය ලිය ලියා කියව කියව හිටිය මිසක්.

“දරුවො එහෙම නැද්ද?”

“පුතාල දෙන්නෙක් ඉන්නව. උනුත් ජීවත් වෙන්නෙ හරි අමාරුවෙන් තමයි.”

“කෝ දැන් ඒ දෙන්න.”

“පොඩි පුතා පැක්ටරියක වැඩට යනව. ලොකු එක්කෙනා සිකුරිටි ජොබ් එකක් කරනව. ඒ දෙන්නට මෙහෙම දුක් විඳින්න වෙන්නෙ නෑනෙ තාත්ත හරියට කල්පනා කරල හරි හම්බ කරල තිබුණ නම්.”

“පොඩි බණ්ඩ මහත්තය හෙව්ව සල්ලි වියදම් වුණේ මොනවටද?”

“ගෙදර දොර වැඩට වියදම් කෙරුව තමයි. ඒක එයා කරන්නම එපායැ. ඊට එහා කීයක්වත් හෙව්වෙ නෑ; අර මඩුවට වෙලා කුරුටු ගගා හිටිය මිසක්ක.” අර මඩුව කියමින් ඇය දිසාවකට අතක් දිගු කළාය.

“එතකොට මේ ගේ එහෙම හැදුවෙ?”

“එයා තමයි හැදෙව්වෙ. පුතාල දෙන්න ඊට පස්සෙ අලුත් කරල ගත්ත.”

තවත් දෙයක් ඇගෙන් ඇසීමට නැති බව සංජීවලාට තේරුම් ගියේය.

“පොඩි බණ්ඩ මහත්තය හිටි කාමර කෑල්ල ඇතුළ ටිකක් අපට බලන්න පුළුන්ද?” සංජීව ඇසුවේය.

“ඔය තියෙන්නෙ ගේ පිටිපස්සෙ. ගිහින් බලන්න. තවම එතැන ඇති පරණ කොළ ගොඩවල්.” කාන්තාවගෙ මුහුණේ දැඩි උපහාසයක් රැඳී තිබේ. “අපි ඕක කඩල ගිනි තියල අස් කරන්නයි හිතාගෙන ඉන්නෙ. කොහෙද මේ දවස්වල වැඩට කෙනෙක් හොයා ගන්න ලේසි නෑනෙ.”

නිලධාරීන් දෙන්නා කතාබහකින් තොරව ගේ පිටුපසින්; ඊට යාර විස්සක් පමණ ඈතින් වූ කුටිය වෙත ගමන් කරන්නට වූහ.

ලේඛකයාගේ කුටිය, ඔවුනගේ පැරණි ගෙයි කාමරයක් ඉතිරි කර සකස් කර තිබුණකි. ඉතිරි කොටස් කඩා දමා කාමර කෑල්ලට පමණක් සුදුසු වන අන්දමට සුළුවෙන් පොල් අතු වහලය හෙවිලි කර තිබිණි. කාමරයේ බාල වර්ගයේ ලෑලි දොර කඩා වැටී ඇත. කාමරය තුළ කබල් පුටුවක්, රට අඹ ලෑලි මේසයක් හා බිත්තියට හේත්තු කළ බූරු ඇඳක් විය.

මේසය මත වූ කොපි පොත් හා කඩදාසි ගොමු සමහරක් වහලයෙන් කාන්දු වූ වැසි දියට අසුව ප්‍රයෝජනයකට ගත නොහැකි වන සේ එකට ඇලී විකෘතිව ගොස් තිබිණි.

ගරා වැටුණ රාක්කයක් මත මුද්‍රිත පොත් කිහිපයක් වූ අතර එහි බොහෝමයක් පරිහරණය කළ නොහැකි තරමට විනාශ වී තිබිණි. මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ මෙන්ම ඩබ්ලියු ඒ. සිල්වා, කුමාරතුංග මුනිදාස බඳු වූවන්ගේ ද ග්‍රන්ථ කීපයක්ම විය. සමහර ඒවා වේයන්ගේ ග්‍රහණයට අසුව තිබුණ අතර අනෙක් ඒවා වැසි වතුර වැටී නාස්ති වී ගොසින්ය.

සංජීව ප්‍රවේශමෙන් අතට ගන්නට වූවේ පොඩි බණ්ඩ ලේඛකයා විසින් රචිත අත්පිටපත්ය. ඒවායේ ද සමහරක් විනාශ වී ගොසින්ය.

“මහ අපරාධයක් සිද්ධ වෙලා තියෙන්නෙ සංජීව.” එසේ කීවේ ඔහුගේ හිතවතාය.

“මේ අපරාධයෙ තරම තේරුම් ගන්න සාහිත්‍යය ගැන ලොකු දැනුමක් තියෙන්න ඕනෙ. ගිහිල්ල අර ගැහැනු කෙනාගෙන් අහගෙන එන්න පුළුවන්ද මේව අපට දෙනවද කියල.”

සහයකයා කාන්තාව සොයා ගිය අතර සංජීව තව තවත් සොයා බැලීම් කරන්නට විය. එක්තරා මහත ෆයිල් කවරයක් තුළ අතින් ලියූ පුල්ස්කැප් ගොන්නක් විය. කඩදාසි කහපැහැ ගැන්වී පරණ වී තිබුණත් අකුරු කියවාගත හැකි තත්වයක පැවතිණි. ඔහු ප්‍රවේශමෙන් ඒවා වෙන්කර තබා ගත්තේය. තවත් තැනක වූ කඩදාසි ගොන්නක් විමසා බැලූ කල සිතාගත හැකි වූවේ එය නවකතාවක් බවකි. ඔහු එය ද වෙන්කර ගත්තේය. ඊට එහායින් වූ කඩදාසි ගොන්න මත වහලයේ සිදුරු අතරින් දිය කාන්දු වීමෙන් අකුරු බොඳ වී එකට ඇලී තිබුණේ, පල ප්‍රයෝජනයකට ගත නොහැකි ලෙසිනි. ඔහුගේ මුවින් දීර්ඝ සුසුමක් පිටවිය.

තව තවත් අවුස්සාගෙන යන අතර කවි ලියන ලද කඩදාසි ගොන්නක් ද හමුවිය.

මෙවිට සහයකයා එතැනට පැමිණියේය. ඔහුගේ අතේ ලොකු හිස් උරයක් ද වූ අතර සංජීව නළල රැලි කරගෙන ඒ දෙස බැලීය.

“අර උන්ද බොහොම කැමැත්තෙන්ම මේක දුන්න තියෙන දේවල් දමාගෙන යන්න කියල.” කියමින් ඔහු සිනාසුණේය.

එහෙත් සංජීවට සිනාසීමට නොහැකි විය. ඔහු වරක් තම සගයා දෙසත් අබලන් මේසය දෙසත් බලා පහත් හඬකින් දොඩන්නට විය.

“මහ අපරාධයක් වෙලා තියෙන්නෙ. හුඟක් දේවල් විනාශ වෙලා. මීට අවුරුද්දකටවත් ඉස්සරල එන්න තිබුණ නම් වටිනා සම්පතක් ආරක්ෂා කරගෙන රටට ඉදිරිපත් කරන්න තිබුණ. බොහොම ටිකයි ඉතිරි වෙලා තියෙන්නෙ.”

දෙන්නා එකතු වී හැකි හැම කඩදාසියක් ම පොතක් ම ගෝනියට දමා ගන්නට වූහ. ඒ අතර කෙටිකතා තරගවලින් ජයග්‍රහණය කළ සහතික පත්වල කැබලි ද විය. සංජීව ඒවා ද එකතු කර ගත්තේ, ප්‍රාදේශීය කාර්යාල ලේකම්තුමියට පෙන්වීම සඳහාය. කඩදාසි ගොනු අතර ලේඛකයාගේ යයි සිතිය හැකි අවපැහැ ගැන්වී ගිය ඡායාරූප පිටපත් කීපයක් ද තිබුණත් ඒවා බොඳ වී කිසිදු ප්‍රයෝජනයකට ගත නොහැකි තත්ත්වයේ තිබිණි.

කඩදාසි පුරවා ගත් උරය ඔසවා ගත්තේ සහයකයාය. ඔවුන් දෙන්නාගේ අසලට පැමිණ කාන්තාවට කතා කළහ.

“බොහොම ස්තූතියි අපට දක්වපු සහයෝගයට.

තවත් කතා කරන්නට දෙයක් නොවූවෙන් “අපි යන්නම්” කියාගෙන ඔවුහු පිට වූහ. එසේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙන ආ ලියැවිලි සමූහය පරික්ෂාවට ලක් කළේ සංජීව හා ලේකම්තුමියය.

“සංජීව මහත්තය කෙටිකතා කවි අපේ ටයිපිස්ට් කෙනකුට කියල පිටපත් කරවල පොත් දෙකක් හැටියට හරිගස්සන්න. නවකතාවත් ඒ විදිහටම පිළියෙල කරන්න. ඒව; පොත් ප්‍රකාශකයො වගයක් මේ ළඟදි පවත්වන්න යන අත්පිටපත් තරගයට යවන්න සූදානම් කරවන්න බලන්න.”

මේ සියලුම මතක අලුත් කර ගනිමින්, සංජීව දයාසේන අද ලැබුණ; තම මේසය මත තබා ඇති ලිපිය දෙස බලා සිටින්නේ මේ වන විට පොඩි බණ්ඩා නමැති ලේඛකයා සිටියා නම් ඔහු කිනම් අන්දමක ප්‍රතිචාරයක් මීට දක්වනු ඇත්දැයි සිතින් අනුමාන කර ගනිමිනි. ප්‍රකාශන සමාගමෙන් ලැබී ඇති දැන්වීම් ලිපියේ සඳහන් වන්නේ කෙටිකතා සහ නවකතා පොතට ප්‍රථම ස්ථානයත්, කාව්‍යය සංග්‍රහයට දෙවන ස්ථානයත් හිමි වී ඇති බවය. මුද්‍රණ සමාගම පොත් මුද්‍රණය කිරීමට පිළිවෙත් දෙකක් යටතේ භාර ගැනීමට කැමැත්ත පළ කර ඇත. කර්තෘ භාගය ගෙවන අන්දම හෝ පූර්ණ අයිතිවාසිකම පවරා ගැනීමේ දෙවිදිහෙන් කර්තෘ කැමති අන්දමකට ක්‍රියා කිරීමට ඔවුන් මනාපය.

උදයේ මේ ලිපිය ලැබුණ විට එය කියවා බැලූ ප්‍රාදේශීය ලේකම්තුමිය ප්‍රකාශ කළේ මෙහි සැබෑ මුදල් උරුමකරුවන් වන පොඩි බණ්ඩාගේ බිරිය හා දරුවන් සමඟ සාකච්ඡා කළ යුතු බවය. මේ ආරංචිය දැන්වීමට යෑමට සංජීවට සිත නොදුන් අතර, ඒ සඳහා ඊට කලකට පෙර තමා සමඟ පොඩි බණ්ඩා ලේඛකයා සොයා ගිය සහයකයා යොදා ගැනුණි. මුදල් ලැබීමට යන කටයුත්තක් බැවින් කිනම් මොහොතක හෝ ඇය පැමිණෙනු ඇත.

දවාලේ ලේකම් කාර්යාලයට ඇය පැමිණියේ තනියෙන් නොව පුතුන් දෙදෙනා සමඟය. ඔවුන්ව කෙළින්ම ලේකම්තුමිය වෙත ඉදිරිපත් කර, සංජීව ද අසලින්ම සිටියේය.

සියලු දෙනාටම ඉඳගැනීමට අසුන් පැනවීමෙන් ලේකම්තුමිය මඳ වේලාවක් තිදෙනා දෙස මාරුවෙන් මාරුවට බැලුවේ ප්‍රසන්න දැක්මක් සොයන්නාක් මෙනි. තරුණයන් දෙන්නා හිස කෙස් හා රැවුල ඕනෑ ඕනෑ විදිහට සකස් කර කලිසම් කමිස ද ඊටම සරිලන අන්දමින් ඇඳ සිටියහ.

ලේකම්තුමිය ඔවුනට කාරණය පැහැදිලි කර දී මෙසේ පැවසුවාය. “මේ ගොල්ලන්ට තියෙන හොඳම දේ තමයි පොත් තුනේ සම්පූර්ණම අයිතිය ප්‍රකාශකයන්ට පවරල ඒ ලැබෙන මුදල් භාර ගන්න එක. කර්තෘ භාගය ලබා ගන්න ගියොත් දෙවෙනි වරට ඔය පොත් මුද්‍රණය වෙන එකක් නෑ.”

“වැඩියෙන් මුදල් ලැබෙන්නෙ මොන විදිහට කෙරුවොත් ද?” එක් තරුණයකු යටැසින් බලමින් ඇසීය.

“ප්‍රකාශන අයිතිය භාර දුන්නොත් තමයි.”

“කීයක් විතර හම්බ වෙයිද දන්නෑ නේද?” අනෙක් තරුණයා අපූරු සිනාවකින් මුව සරසාගෙන ඇසීය.

“සුදුසු ගාණක් හම්බ වෙයි.”

“ෂහ්… මේ ළමයින්ගෙ තාත්ත ලීව අනෙක් ඒවත් ආරක්ෂා කර ගන්නයි තිබුණෙ.” කාන්තාව පසුතැවිල්ලකින් මෙන් කීවාය.

ජයග්‍රහණය දන්වා එවා තිබුණ දැන්වීම් ලියුම සහිත කවරය ඔවුන් අත තැබූ ලේකම්තුමිය “මේකෙ තියෙන ලිපිනයේ තැනට යන්න. යන කොට මේකත් අරගෙන යන්න.” කියා මඳක් තැන් සිට මෙසේ ද පැවසුවාය. “පොඩි බණ්ඩ ලේඛකතුමාට මේ අයගෙ තිබෙන සම්බන්ධතාව සහතික කෙරුව ලියුමක් ගෙනියන්නත් අමතක කරන්න එපා.

ඔවුන් පිටව ගිය පසු ඇය යාන්තමින් සිනාසෙමින් සංජීව දෙස බැලුවාය. සතුට මඳක්වත් මුසු නොවුණ ඒ සිනාව හඳුනාගත් ඔහුගේ මුහුණට නැඟුණේ අසරණ කමේ බැල්මකි.

“සංජීව කෝකටත් අප ළඟ තියෙන අර පොත් තුනේ පිටපත් ප්‍රවේශම් කරල අරන් තියන්න.”

https://www.silumina.lk/2024/07/27/news-features/22200/%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA-%E0%B6%BD%E0%B7%9A%E0%B6%9B%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F/

Nissanka Rajapaksa

unread,
Aug 8, 2024, 8:05:34 PM8/8/24
to INDRAKA group
30
1984 සැප්තැම්බර් මස කල්පනා සගරාවට අනුලාද සිල්වා මහත්මිය රචනා කළ කෙටිකතාව






Nissanka Rajapaksa

unread,
Aug 9, 2024, 8:45:10 PM8/9/24
to INDRAKA group
31

මහගෙදර

- සුනිලා විජේසිංහ විසින් පරිවර්තනය කළ කෙටිකතාවක් 

ගොවිපොළ පැතිර තිබුණේ සමර්සෙට්ෂයර් කඳුවැටි අතරේ වූ නිම්න භූමියකය. එහි වූ ගලින් කරන ලද පැරණි පන්නයේ   නිවස වටා ධාන්‍ය අටු ද, කුකුළන්, එළුවන්, ගවයන් වැනි සතුන් සඳහා ඉඳි කරන ලද කුඩා නිවාස ද දක්නට ලැබිණි. නිවසේ දොරකඩට ඉහළින් ‘1673’ යන්න මනහර ලෙස ලියකම් කොට තිබුණි. ඒ එම නිවාසය ඉදි කොට හමාර කළ වර්ෂයයි. කාලගුණයේ පහරදීම් වලට ද නොඅඩුව ලක්ව තිබූ නිවසෙහි බිත්ති අළු පැහැ ගත්තේය. නිවස ආවරණය කරන්නට උත්සාහ ගනිමින් සමහර ගස් වැල් වැවී තිබූ අතර ඒ නිසාම නිවස ද ගෙවත්තෙහිම කොටසක් සේ පෙනෙන්නට තිබිණි. මහා මාර්ගයේ සිට නිවස දෙසට වැටී තිබූ මාවත දෙපස එල්ම් ගස් දෙපෙළක් නැගී සිටියේ තේජස්වී විලාසයකිනි. කලකට පෙර මේ එල්ම් ගස් දෙපෙළ එම ගම්ඉඩම් හිමියාගේ මන්දිරයට මහත් ආඩම්බරයක් වූවාට කිසිදු සැකයක් නැත.
නිවස්න වාගේම එහි නිවැසියන් ද දෘඪ හා උද්ධච්ඡ ගතියක් පෙන්නුම් කළා යැයි කීවොත් එක අතකට නිවැරැදිය. පරම්පරාවෙන් පරම්පරාවට ඉපදීම මෙන් ම මිය යාම ද එකී මන්දිරය තුළම සිදුවීම ඔවුන්ගේ අහංකාර ප්‍රාර්ථනාවක් වී තිබුණා සේ ය. නිවැසියන් අවට ඉඩ කඩම් වගා කරමින් ගොවිපළ ආරම්භ කොට තිබුණේ වසර තුන්සියයකට පමණ පෙරාතුවය. දැන් සිටින ගොවිපළ හිමියා ජෝර්ජ් මෙඩෝස් ය. ඔහුගේ වයස අවුරුදු පනහකි. බිරිඳ ඔහුට වඩා වසර දෙක තුනකින් බාල විය යුතුය. ඔවුන් දෙදෙනාම පැහැපත් ය. පුත්තු දෙදෙනා සහ දූවරු තිදෙනා ද මවු පිය පාර්ශ්වයන් සේ ම ශක්තිමත් හා ප්‍රසන්න අය වූහ. එකී පවුල සැබැවින් ම සිටියේ හොඳින් හා සතුටිනි. එහෙත් නව ලොවක් පිළිබඳව හැඟීමක් නම් ඔවුන් කිසිවෙකුටත් නොතිබුණා සේ ය. ඔවුන්ගේ ආඩම්බරය වූයේ ස්වකීය පරම්පරාගත නිවස තුළ, ගොවිපළ තුළ සංහිඳියාවෙන් ජීවත්වීම පමණකි. නෝනාවරුන්, මහත්වරුන් වීමේ උවමනාවක් ඔවුනට තිබුණේ නැත. කෙසේ නමුත් එවැනි සමගි සම්පන්න, ප්‍රීතිමත් නිවසක් මා වෙනත් දැක නොතිබූ තරම්ය. කාර්‍ය්‍යශූර මෙන් ම කරුනාවන්ත ද වූ නිවැසියෝ හැම විටම වැඩිහිටියාට ප්‍රමුඛස්ථානය දෙමින් කටයුතු කළහ.
බීතෝවන්ගේ තූර්‍ය්‍ය සංවාදයක හෝ ටිඩියන්ගේ සිතුවමක දැකිය හැකි පූර්ණත්වය එම නිවසේ ඇතැයි මට සිතුණු වාර බොහෝ විය. එසේ වුව නිවසෙහි ආධිපත්‍යය අයත්ව තිබුණේ ජෝර්ජ් මෙඩෝස් හට නොවේ. ඔහුගේ මවටය. අළු පැහැති හිස කෙස් සහිත උස, ඍජු ගැහැනියක වූ ඇයගේ වයස අවුරුදු හැත්තෑවක් විය. මුහුණ රැලි ගැසී තිබුණ ද ඇගේ දෑස දීප්තිමත් හා කලබලකාරීවිය. නිවසට මෙන්ම ගොවිපළට ද නීතිය බවට පත්ව තිබුණේ ඇගේ වචනයයි. අත්තනෝමතික හා ස්වෛරී වුවද ඇගේ පාලනය අකාරුණික වූයේ නැත. සේවකයෝ ඇය හා විහිළුවක් කොට සිනාසෙන්නට බිය නොවූහ. සැබැවින්ම ඇය සාර්ථක ව්‍යාපාරික කාන්තාවක් වූවාය. උදෑසනින් අවදිවීම යමෙකුට ඇගෙන් සැලකිලි ලබන්නට තරම් හේතුවක් විය. අපූරු චරිතයක් වූ ඇය; මෙඩෝස් මහත්මිය යහපත් සිහි බුද්ධිය මෙන් ම ප්‍රීතිය ද යන මනෝභාවයන්ගේ සංකලනයක් වැන්න. දිනක් ජෝර්ජ් මහත්මිය අතරමග දී මා නතර කළාය. ඇය සිටියේ මහා කලබලයකිනි. ජෝර්ජ් මහත්මිය මෙඩෝස් නිවස තුළ කිසිදාක මෙඩෝස් මහත්මිය බවට පත්ව සිටියේ නැත. එහි මෙඩෝස් නෝනා මහත්මිය වූයේ ඇගේ නැන්දම්මා පමණකි.
''ඔයා දන්නවද අද මෙහාට එන්නෙ කවුද කියලා?” ඇය මා නතර කරමින් පිළිවිසියාය.
“ජෝර්ජ් මෙඩෝස් මාමා! දන්නවනෙ එයා හිටියෙ චීනෙ.”
“මං හිතා හිටියෙ එයා මළාය කියලනෙ.”
''ඇත්තටම අපිත් හිතා හිටියෙ එහෙම තමයි.”
ජෝර්ජ් මෙඩෝස් පිළිබඳ කතාව මම වාර දුසිම් ගණනක් අසා ඇත්තෙමි. පැරණි කවි කතාවක දැවටී තිබෙන ආශ්වාදය ඒ කතාව තුළ තිබූ නිසාම මම එය අසන්නට ප්‍රිය කළෙමි. එය යථාර්ථවාදයෙන් බැහැර වූ කතාවකැයි ද වරෙක මට නොසිතුණා නොවේ. ජෝර්ජ් මෙඩෝස් මෙන් ම ඔහුගේ බාල සහෝදරයා වූ ටොම් ද යන දෙදෙනාම ආලය කොට තිබුණේ මෙඩෝස් මහත්මියට ම ය. එකල ඇය එමිලි ග්‍රීන් මෙනවිය වූවාය. ඒ අඩ සිය වසකටත් එපිට සිදු වූ සිදුවීමකි. අවසානයේ දී, එමිලි ටොම් හා විවාහ වූ අතර ජෝර්ජ් මුහුදෙන් එතෙර ගොස් තිබිණි.
ඔහු චීනයේ සිටින බව ඔවුහු එකල දැන සිටියහ. ඒ වසර විස්සක් ගත වන තුරුත් ඔහු ඉඳ හිට ඔවුනට තෑගි බෝග එවූ බැවිනි.
එයින් පසු ඔවුනට ඔහු පිළිබඳව ආරංචි නොලැබී ගියේය. ටොම් මෙඩෝස් මිය ගිය පුවත ද එමිලි මෙඩෝස් ඔහු වෙත ලියා යැව්වාය. එහෙත් පිළිතුරක් ලැබුණේ නැත. අවසානයේ දී සියලු දෙනා එක්ව නිගමනය කොට තිබුණේ ඔහු මිය ගොස් ඇති බවය. දින දෙක තුනකට පෙරාතුව මෙඩෝස් මන්දිරයට හදිසියේ ම හසුන්පතක් ලැබුණේ නිවැසියන් මවිතයට පත් කරවමිනි. ලියුම එවා තිබුණේ ‘පෝට්ස්මවුත්’ නාවුක නිවාස පාලිකාවක් වෙතිනි. එකී ලියුමට අනුව ජෝර්ජ් මෙඩෝස් පසුගිය දස වසරක් පුරා අත් පා අවසඟව නාවුක නිවාසයක නේවාසික රෝගියෙකු ලෙස ගත කොට ඇත. ඒ ඔහුට රූමැටික උණ වැලඳීම හේතුවෙනි. ලියමනට අනුව ඔහු තවත් වැඩි කලක් ජීවත් නොවනු ඇත.
ඒ අතර ඔහුගේ සිතට තමා උපන් පාරම්පරික නිවස දැක ගැනීමේ උවමනාවක් පහළ වී ඇත. ඇල්බට් මෙඩෝස් ඔහුගේ වැඩිමහලු බෑනා, අද දවාලේ ‘පෝට්ස්මවුත්’ ගොස් තිබුණි. ඒ තම ෆෝඩ්කාරයෙන් ඔහු කැඳවාගෙන එන්නටය.
“හරි අපූරුයි”
ජෝර්ජ් මහත්මිය කීවේ සතුටිනි.
“අවුරුදු පනහකටත් වඩා කලින්නෙ එයා මෙහේ ඉඳල තියෙන්නෙ. මගේ ජෝර්ජ්ව දැකලවත් නෑ තාම. ලබන අවුරුද්දට තමයි එයාට පනස් එක පිරෙන්නෙ.”
“එතකොට මෙඩෝස් නෝනා මේ ගැන මොකද කියන්නේ?”
“දන්නවද, එයා තනියම හිනාවෙනවා. එයා මෙහෙන් යද්දි බොහොම කඩවසම් තරුණයෙක්ලු. ඒත් හැබැයි එයාගේ බාල සහෝදරයාගේ වගේ හිතේ ස්ථිරසාර ගතියක් තිබුණෙ නැතිලු. ඒක නිසාලු එයා අපේ ජෝර්ජ්ගේ තාත්තව කසාද බැන්දෙ.”
ජෝර්ජ් මහත්මියගේ කාරුණික ආරාධනාව පිළිගෙන මම මෙඩෝස් නිවසට ඇතුළු වූයෙමි. දුර බැහැරක කිසිදා නොයන ගැමි කාන්තාවක වූ ඇය සිතන්නට ඇත්තේ ආගන්තුකයා හා මා
අතර කිසියම් සමීප බවක් ඇති බවය. ඒ මා ද කලක් චීනයේ ගත කොට ඇති බැවිනි. මා එහි යන විට පවුලේ සියලු දෙනා එක් රැස්ව සිටියහ.
විශාල පැරණි මුළුතැන්ගෙය තුළ සියල්ලෝ වාඩි වී සිටියෝය. ගෙබිම ද ගලෙන් ම නිමා කළ මුළුතැන්ගෙහි උදුන අසල වූ සුපුරුදු අසුන මත වාඩි වී සිටියේ මෙඩෝස් මහත්මියයි. ඇය
සිටියේ තමා සතු හොඳම සිල්ක් ඇඳුමෙන් සැරසීගෙනය. මගේ මුවඟට සිනහවක් නැගුණේ නිරායාසයෙනි. ඇයගේ පුතා, පුතාගේ බිරිඳ හා දරුවෝ ද මේසය අසල වාඩි වී සිටියහ. උදුනෙහි අනෙක් පස වාඩි වී සිටියේ මහලු මිනිසෙකි.
ඔහු පුටුවේ වාඩි වී සිටියේ ගුලි ගැසීගෙන ය. ඉතා කෘශ වූ සිරුරක් සහිත ඔහුගේ සම අස්ථි පංජරය අතැර එල්ලී සිටිනු දැකගත හැකි විය. හරියට තමාට නොගැළපෙන ප්‍රමාණයෙකින්
විශාල ඇඳුමක් ඇඳ සිටින්නා සේ ය. කහ පැහැති ඒ මුහුණේ රැළි බහුල විය. ඔහු සතුව එකදු දතක් හෝ නො තිබුණා විය හැකිය.
මම ඔහුට අතට අත දී සුබ පැතුවෙමි.
“මෙඩෝස් මහත්තමයා. හරිම සතුටුයි ඔබට කරදරයක් නැතුව එන්න ලැබුණට.”


මම කීවෙමි.

“කැප්ටන්. කැප්ටන් මෙඩෝස්.”
ඔහු මා නිවැරැදි කළේය.
“මාමා පයින් ඇවිදගෙන ගෙදරට ආවෙ.”
ඔහුගේ බෑනා, ඇල්බට් විස්තර කළේය.
“ගේට්ටුව ළඟට ආවම මාමා මට කාරෙක නතරකරන්ඩ කිව්වා. ඇවිදගෙන ම ගෙට එන්ඩ ඕන කිව්වා.”
“විශ්වාස කරන්ඩ. මං අවුරුදු දෙකකින් ඇඳෙන් බැහැලා තිබුණෙ නෑ. මාව උස්සගෙන ඇවිත් තමයි ඒ අය මාව කාරකෙන් තිබ්බෙත්. මං හිතා හිටියෙ මං ආයෙ කවදාවත් ඇවිදින එකක් නෑ කියලයි. ඒත් අර එල්ම් ගස් පේළි දැක්ක ම මට ඒ ගස් යටින් ඇවිදගෙන එන්ඩ ඕන වුණා. අපේ තාත්තා ඒ කාලෙ ඒ එල්ම් ගස්වලට ආදරේ කළ හැටි මට මතක් වුණා. මට හිතුණා මට ඇවිදින්ඩ බැරි නෑ කියලා. ඔව්, අවුරුදු පනස් දෙකකට කලින් මංඇවිදගෙන ගිය පාරේ මං ආපහු ඇවිදගෙන ආවා.”
“අනේ මන්දා.”
එමිලි කීවාය.
“මට සනීපයක් දැනෙනවා. හරියට අවුරුදු දහයක් ආපස්සට ගිහින් වගේ සුවයක්, ශක්තියක් දැනෙනවා. මට තාමත් ඔයාව හොඳට පේනවා එමිලි.”
මෙඩෝස් මහත්මියට දැන් පරම්පරාවේ කිසිවෙක් එමිලි යැයි අමතන්නේ නැත. එබැවින් මසිතට දැනුණේ කිසියම් චකිතයකි.
පරිසරය සැකසී තිබුණේ හරියට ඔවුන් දෙදෙනා පමණක් එහි සිටින්නා සේ ය. ඇය ඔහු දෙස බැලුවේ මඳහසක් සහිත කලබලකාරී දෙනෙත්වලිනි. ඔහු ඇය හා දොඩමළුව සිටියේ දත් නැති විදුරුමස පෙන්වමින් පුළුල් වූ සිනා මතු කරමිනි. සැබැවින් ම එය ආගන්තුක දසුනක් ම විය. අඩ සිය වසක් එකිනෙකා නොදැක ගෙවුණු කාලය පුරාවට ඒ ගැහැනියටම ප්‍රේම කළ මිනිසා. ඒ අතරතුර වෙනත් පිරිමියෙකුට ප්‍රේම කළ ඒ ගැහැනිය.
“කැප්ටන් මෙඩෝස්, කසාදයක් බැන්දෙ නැද්ද කවදාකවත්?”
මම ඔහු විමසුවෙමි.
“නෑ"
ඔහුගේ කටහඬ වෙවුලන සුළු විය. එහෙත් මුවෙහි සිනහව පුළුල්ව පැතිර පැවතුණි.
“ඒ වුණාට මං ගෑනු ගැන ඕනවටත් වඩා හොඳට දන්නවා.”
“ඒ කියන්නේ....?”
මෙඩෝස් මහත්මිය කටහඬ අවදි කළාය.
“එහෙදි මෙයාට ඉන්න ඇති කළු නෝනලා දුසිම් බාගයක්වත්.”
“චීනෙ කොහෙන්ද කළු ගෑනු. ඇයි එමිලි දන්නෙ නැද්ද චීන ගෑනු කහ පාටයි.”
“ඒක වෙන්නැති එහෙනම් මෙයත් කහ පාට වෙලා ඉන්නෙ. දැක්ක ගමන් ඒත් මං හිතුවා, මොකද මෙච්චර පාණ්ඩු පාට වෙලා කියලා.”
“මං ඉස්සර ඉඳලම කියල තිබුණේ, එමිලි ඇරෙන්ඩ වෙන කිසි කෙනෙක් කවදාකවත් කසාද බඳින්නෙ නෑ කියලා.”
ඔහුගේ වචන තුළ අකරුණාවක්, අමනාපයක් තිබුණේ ම නැත.
“මම කිව්වෙම හැතැප්ම විස්සක් පයින් ඇවිදලා යන එක මට දෙයක් නෙමෙයි කියලා. මට ඕන දුකක් විඳින්ඩ පුළුවන්”
ඔහුගේ කටහඬේ තිබුණේ තෘප්තිමත් බවකි.
“එක අතකට මාව බැන්ද නම් ඔයා ඒ ගැන පසු තැවෙන්නත් තිබුණා. සමහර විට.”
ඇය පිළිතුරු දුන්නා ය.
මම මහලු මිනිසා සමඟ චීනය පිළිබඳව කතා කළෙමි.
“ඔයා, ඔයාගෙ කෝට් පොකට් එක ගැන දන්නෙ කොච්චර ද ඊටත් වඩා මම දන්නවා චිනෙ නැව් තොටවල් ගැන. නැවකට යන්න පුළුවන් කොතැනකටද මං ඒ හැම තැනකම ගියා.”
ඔයා මා ළඟ මාස හයක් තිස්සෙ දවස පුරාම වාඩිවෙලා අහන් හිටියත් මට කියන්ඩ පුළුවන් වෙන්නෙ මං දැකපු දේවල්වලින් බාගයක් විතරයි.”
“ඒත් මට හිතෙන්නෙ ජෝර්ජ් ඔයා සල්ලි ඉතිරි කරල නම් නෑ.” මෙඩෝස් මහත්මිය කීවේ අකරුණාවන්ත නොවූ සරදම් සිනහවක් සහිතවය.
“මම සල්ලි ඉතුරු කරන මිනිහෙක් නෙමෙයි. හම්බ කරන්නේ වියදම් කරන්ඩ. ඒක තමයි මගේ ආදර්ශ පාඨය. ඒත් හැබැයි මට මගේ ජීවිතේට ආපහු යන්ඩ පුළුවන්නම් මං ඒකත් කරනවා. ඒත් ඉතින් එක අතකට ඒකත් එච්චර තේරුමක් ඇති දෙයක් නෙමෙයි.”
“ඇත්තට ම නෑ.”
මා ඔහු දෙස බැලුවේ ගෞරවපූර්වකවය. දත් නැති, අත් පා අවසඟව ගිය පැන්සයක් නැති මහල්ලා.... නමුත් ඔහු ජීවිතය ජයගෙන ඇතිවා සේ ය. ඔහු ජීවිතය වින්දනය කොට ඇත.
පසුවදා ද තමා බලන්නට පැමිණෙන්නැයි ඔහු මා පිටත්වන විට ඉල්ලා සිටියේය. චීනය ගැන මා අසන්නට කැමති බොහෝ කතා ඔහු පවසනු ඇත.
පසුවදා උදෑසන මම නැවත කැප්ටන් මෙඩෝස් දකින්නට ගියෙමි. අර අපූරු එල්ම් ගස් යටින් මා ඇවිද ගියේ මා දැකීම ඔහුට සතුටක් වෙතැයි සිතමිනි. මෙඩෝස් මහත්මිය ගෙමිදුලෙහි සිටියේ මල් නෙළමිනි. මම ඇයට සුබ උදෑසනකට සුබ පැතුවෙමි.
මගේ කටහඬින් ඇය හිස ඔසවා මදෙස බැලුවාය. ඇගේ දෝත අවුරාගෙන සිටියේ සුදු පැහැති මල් මිටියකි. මම නිවස දෙස බැලුවෙමි. ජනේල් තිර පහතට වැටී තිබුණි. මෙඩෝස්
මහත්මිය සාමාන්‍යයෙන් කැමති හිරු එළිය ගෙතුළට ඇදෙනවාටය.
“මිනිහෙක් යට කළාට පස්සෙ ඕන තරම් අන්දකාරෙට වෙලා ඉන්න බැරුවයැ.”
ඇය නිතර කීවේ එලෙසය.
“කොහොමද කැප්ටන්ට?”


මම ඇසුවෙමි.

“එයා ඉතින් හැමදාමත් කිසි වග විභාගයක් නැති කෙනෙක්නෙ. අද උදේ ලිසී තේ එක අරගෙන යද්දි එයා යන්නම යන්න ගිහින්.”
“කැප්ටන් මළා?”
“ඔව්, නින්දෙදිම. මං මේ සුදු මල් කඩන්නෙ ඒකයි. මේ එයාගෙ පරණ ගෙදරම එයා මැරුණු එක මට සතුටක්. ඒක මෙඩෝස්ලට බොහොම වටිනවා.”
ඔවුන් රාත්‍රියේ ඔහු ඇඳට යවා තිබුණේ පෙරැත්ත කිරීමෙන් අනතුරුවය. පසුගිය කාලය පුරා සිදුවූ තම ජීවිතයේ බොහෝ සිදුවීම් ගැන පවසමින් ඔහු බොහෝ වේලාවක් අවදිව සිට ඇත.
නිවසට පැමිණීම සහ එල්ම් ගසින් සෙවණ වූ මාවත දිගේ ඇවිදපත්ව ඇත. තවත් විසි වසරක් දැන් ඉතින් තමාට ජීවත් විය හැකි යැයි ඒ අතර ඔහු පුරසාරම් දොඩා ඇත.
‘නමුත් ඔහුගේ ජීවිතය අග මරණයේ නැවතුම් තිත නිවැරදි තැනදී තබන්නට තරම් දෛවය කාරුණික වී ඇත.’
මට සිතුණේ එලෙසිනි.
මෙඩෝස් මහත්මිය තමා අත වූ මල් පොකුර නාසයට ළං කොට එහි සුවඳ වින්දාය.
“කොහොම නමුත් එයා ආපහු ආ එක කොච්චර දෙයක් ද?
මං ටොම් බැන්දට පස්සෙ ජෝර්ජ් යන්ඩ ගියා. මට කවදාවත් ම තේරුම් ගන්ඩ බැරිම දේ තමයි මං කසාද බඳින්ඩ තිබුණෙ ටොම් ද නැත්නම් ජෝර්ජ් ද කියන එක.”

https://www.heladiva.lk/%e0%b6%b8%e0%b7%84-%e0%b6%9c%e0%b7%99%e0%b6%af%e0%b6%bb-%e0%b6%85%e0%b6%af%e0%b7%92%e0%b7%83%e0%b7%92-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%b8%e0%b6%ba-%e0%b6%b1%e0%b6%b8%e0%b7%92/


Nissanka Rajapaksa

unread,
Aug 10, 2024, 8:29:39 PM8/10/24
to INDRAKA group
32
බිරිඳගේ නිවාඩුව

Translation of the Short Story 'Wife's Holiday' by R. K Narayan

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

කන්නන් තම පැල්පතේ දොරකඩ හිඳ තමන්ට ඉදිරියෙන් ඇති පාරේ ගම්වැසියන් එදිනෙදා කටයුතු සඳහා යන එන අයුරු බලා සිටියේය. තෙල් වෙළෙන්දා වන සාමි තම ගොනා දක්කාගෙන ඈත සිට ඒ දෙසට එනු පෙනුණි.

“ආ අද උඹ කම්මැලිකමට ඉන්න දවස වගේ නේද? හවස් අතේ මන්තාපම් පැත්තේ වරෙන් එහෙනම්,” ඔහු එතැනින් යද්දී කීවේය.

ඉන් පසුවත් කීපදෙනෙක්ම එතැනින් ගියත් කන්නන් ඒ වගක් දුටුවේ වත් නැත. තෙල් වෙළෙන්දාගේ වචන ඔහුව සිහිනයකට අතහැර තිබුණි. මන්තාපම් යනු බොහෝ පැරණි, කුළුණු සහිත ගොඩනැගිල්ලකි. බදාම ගැලවෙමින්, ගරා වැටෙමින් තිබුණු එය පිහිටා තිබුණේ වැව අද්දරයි. කන්නන් සහ ඔහුගේ මිතුරු පිරිසට මෙය සමාජ ශාලාවක් වැනි විය. ඇතැම් හවස් වරු වලදී ඔවුහු එතැනට එක් රැස් වී මහත් උද්යෝගයෙන් සහ උන්මාදයෙන් දාදු සෙල්ලම් කළහ. කන්නන් මේ සෙල්ලමට පමණක් නොව ඒ ස්ථානයේ දැනෙන මඩ පුසුඹටත්, ගරා වැටුණු ආරුක්කු අතරින් අහසත් දුර ඈත කඳු ගැට පෙනෙන ආකාරයටත් ඉතා ප්‍රිය කළේය.

තම දොරකඩ හිඳ අව්ව තපිමින් සිටින තමන් කම්මැලියෙක් යැයි මිනිසුන් චෝදනා කරනු ඇති බව කන්නන් දැන සිටි නමුත් ඔහු ඒ ගැන තැකීමක් නොකළේ ය. රැකියාවට යාමට ඔහුගේ බලාපොරොත්තුවක් තිබුණේ නැත - බිරිඳ තවමත් නිවසින් පිටව සිටි නිසා එසේ යන්නට ඔහුට බල කරන්නට කෙනෙක් සිටියේ නැත. දින කිහිපයකට පෙර ඔහු විසින් සිය බිරිඳව ඒ ගමන යන්නට කරත්තයකට නග්ගනු ලැබුවේ නිහඬ සතුටකිනි. අඩුම තරමේ තව දින දහයක්වත් එහි නවතින්නට ඇගේ දෙමව්පියන් ඇයට බලකරනු ඇතැයි ඔහු ප්‍රාර්ථනා කළේය. තම පුතුගෙන් වෙන්වී සිටීම දුකක් වූවත් බිරිඳ නොමැතිව කල් ගෙවන්නට ලැබීමේ වරප්‍රසාදය වෙනුවෙන් එය ගෙවන්නට සිදුවන නොවැලැක්විය හැකි මිළක් බව කන්නන් භාරගෙන සිටියේය.

“ඒ ගෑනි ගෙදර හිටියා නම් මට මේ වගේ විවේක ගන්න ඉඩ දෙයිද?” ඔහු කල්පනා කළේ ය. එසේ වූවා නම් ඔහු මේ වෙද්දී පොල් ගස් නගිමින්, ඒවායේ කුරුමිණියන් සහ වෙනත් කරදරකාරී කෘමීන් ඉවත් කරමින්, කුම්මැහි ගස් අයිතිකරුවන් සමඟ හෙට්ටු කරමින්, දවසකට රුපියලක් උපයමින් සිටිනවා ඇත. දැන් ඔහු තම බිරිඳ නිවසේ නැති ප්‍රීතිය සැමරුවේ දවසින් වැඩි ප්‍රමාණයක් නිවසේ රැඳීමෙනි. නමුත් මෙහි අවාසිය වූවේ ඔහු සන්තකයේ ආනා කාලක්වත් නොමැති වීමයි. එමෙන්ම අද දවසේ ගස් බඩගෑමක් සිදු නොකළහොත් ඔහුට කිසිම කාසියක් දක්නට ලැබෙන්නේ ද නැත.

අතපය දිගු කර ඇඟ මැලි කැඩූ කන්නන් ගස් නැගීම ගැන නොසතුටින් කල්පනා කළේය. අර විශාල නිවසේ ගෙවත්තේ තිබුණු පොල් ගස් දහයට තම සේවාව අවශ්‍ය බව සත්‍යයකි, තමන් එහි යාමට සූදානම් ඕනෑම වෙලාවක ඒ කාර්යය ඔහු වෙනුවෙන් වෙන්වී තිබුණි. එහෙත් එය කළ නොහැක්කක් බව ඔහුට හැඟුණි. තම අත පය දරදඬු වී ඇති බවත්, අද දවසේ ඒවා අවනත වන්නේ මන්තාපම් යාමට පමණක් බවත් ඔහු සිතුවේය. නමුත් හිස් අතින් එහි ගොස් ඇති පල කුමක්ද? ඔහු අතේ අඩුම තරමේ ආනා හතරක්වත් තිබුණි නම් හවස ආපිට එද්දී රුපියලක් රැගෙන ඒමට හැකිවනු ඇති බව ඔහු විශ්වාස කළේය. අර ගෑනි! තමන් මහන්සියෙන් ඉපයූ මුදලින් ආනාවක් වත් තමන් සතුව තබාගැනීමට ඉඩ නොදෙන බිරිඳ ගැන සිතද්දී පවා ඔහුට කෝපයක් දැනුණි. තමන්ගේ නමට එක ආනාවක් වත් නොමැතිවීම! තමන් වසර ගණනක් තිස්සේ දුකසේ මුදල් ඉපයූ බව කන්නන් මතක් කළේ ය. ඒ කාලය වසර කීයක්දැයි ගණන් කරන්නට උත්සාහ කළත් ඔහු ඒ සිතිවිල්ල අත්හැර දැමුවේ ඒ වෙනුවෙන් ඉලක්කම් රාජධානියට පිවිසිය යුතු නිසාය. දාදු සෙල්ලමේදී සහ මුදල් ගණන් කිරීමේදී හැර අන් හැම විටකදීම ඔහුට දැනුණේ ඉලක්කම් යනු තමන්ගේ ග්‍රහණයෙන් පිට ඇති සංකීර්ණ දේවල් බවයි.

හදිසියේම යමක් සිහි වූ බැවින් ඔහු හුන් තැනින් නැගිට නිවස තුළට ගියේය. නිවසේ එක කෙළවරක විශාල යකඩ පෙට්ටගමක් විය. වසර කීපයකට පෙර කළු තීන්ත ආලේප කර තිබුණු එය මේ නිවසටම තිබුණු එකම වැදගත් දේ විය. පෙට්ටගම ඉදිරිපස හිඳගත් කන්නන් එහි අගුල දෙස අසරණ ලෙස බලා සිටියේය. එය තියුණු දාර සහිත තනි යකඩ අගුලකි. එහෙත් ඔහු එය අල්ලා වැරෙන් අදිද්දී පුදුමයකට මෙන් එය විවර විය. “දෙවියන් මට කරුණාවයි,” තමාටම කියාගත් ඔහු පෙට්ටගමේ පියන විවර කළේය. මෙහි තිබුණේ ඔහුගේ බිරිඳගේ වටිනාම වස්තූන් කිහිපයකි. එහි හැට්ට කිහිපයක් සහ සාරි දෙකතුනක් විය. තමන් තරුණ මනමාලයෙක් ලෙස ඇයට මිළදී ගෙන දුන් සාරියත් එහි ඇති බව දුටු විට මේ තරම් කාලයක් ඇය එය ප්‍රවේසම් කර තිබීම ගැන ඔහු පුදුම විය. එදා සිට ගත වූ කාලය ගණනය කරන්නට උත්සාහ කළත් මෙවරත් ඉලක්කම් ඔහුට හරස් විය.

“මට නම් පේන්නේ එයා මේක පරෙස්සම් කරලා තියාගෙන ඉන්නේ ඒක අඳින්න තියෙන ලෝබකම නිසායි!” කී ඔහු තනිවම සිනාසුණේ මේ නපුරු නිගමනය ගැන සතුටිනි. මේ ඇඳුම් කැඩුම් නොඉවසිලිමත් ලෙස වීසි කර දැමූ ඔහු පෙට්ටගම පතුලේ ඈ මුදල් දමන කුඩා ලී පෙට්ටිය සොයන්නට විය. නමුත් එය හිස් ව පැවතුණි. එහි තිබුණේ වාසනාව උදෙසා ඉතිරි කරන ලද සුමට තඹ කාසියක් පමණි.

“සල්ලි ටික කොහේ අතුරුදහන් වුණා ද?” ඔහු කේන්තියෙන් ඇසුවේය.

“එයාගේ සහෝදරයාට හරි එහෙ ඉන්න වෙන කෙනෙකුට හරි දෙන්න ආනා ඔක්කොම අරන් යන්න ඇති! මම මෙහෙ දවස ගානේ වහල්කම් කරන්නේ එයාගේ සහෝදරයා පෝසත් කරන්නද? ඊළඟ වතාවේ ඕකාව හම්බ වුණාම මම උගේ බෙල්ල මිරිකනවා,” මෙසේ තමන්ටම කියාගනිද්දී ඔහුට යම් තෘප්තියක් දැනුණි. තවත් පෙට්ටගම අවුස්සද්දී එහි කෙළවරක වූ දුම්වැටි අසුරන වර්ගයේ බෙලෙක් භාජනයක් ඔහුගේ ඇස ගැටුණි. එය සොලවා බැලූ විට ඉන් නැඟුණේ කාසිවලින් නැඟෙන සතුටු හඬයි. එය දකිද්දී ඔහුගේ පපුව උණු විය. මේ රත් පැහැති බෙලෙක් බඳුන ඔහුගේ පුතුගේ යි. සංචාරක බංගලාව පසුපස කුණු ගොඩේ තිබී මෙය අහුලාගත් පුතු එය තම පපුවට තදකරගෙන දිව ආ හැටි ඔහුට සිහි විය. ඉනික්බිති මුළු දවසම පාරේ සිට ඊට දුහුවිලි පුරවමින් සහ හිස් කරමින් ඔහු එය සමඟ සෙල්ලම් කළේය. මෙයින් කාසි කැටයක් තනන්නට යෝජනාව ගෙන ආවේ කන්නන් ය. මුලදී කුඩා දරුවා දැඩි ලෙස මීට විරුද්ධ විය. නමුත් කන්නන් දිගටම කරුණු දැක්වූ නිසා ඔහුට මේ අදහස දරුවාට ඒත්තු ගන්වන්නට හැකි වූ අතර අවසානයේදී ඔහු උනන්දුවෙන් ඊට එකඟ විය.

“කාසි කැටය පිරුණාම මම අර ලොකු ගෙදර පිරිමි ළමයා වගේ කාර් එකක් ගන්නවා, තව හාමොනිකාවකුයි කොළ පාට පැන්සලකුයි ගන්නම ඕන.” පුතුගේ මේ සැලසුම් අසා කන්නන් හඬ නඟා සිනාසුණේය. බෙලෙක් බඳුන කම්මලට රැගෙන ගිය ඔහු කම්මල්කරු ලවා එහි පියන පාස්සා මුදුනෙහි කාසියක් දමන්නට පමණක් ඉඩ සෑහෙන විවරයක් කපාගත්තේය. කුඩා දරුවාට මෙය මහඟු වස්තුවක් වූ අතර තාත්තාට එතුළට කාසියක් දමන්නට එය ඔසවාගෙන සිටීමට ඔහු ප්‍රිය කළේය.

“තාත්තේ කැටේ පිරිලා ද? මට ඒක අරින්න පුලුවන්ද?” ඔහු රැළි කරගත් දෙබැමින් යුතුව නිරතුරුව ඇසුවේය. මවගේ පෙට්ටගමේ සාරි අතරේ සුරක්ෂිතව තම කැටය තබන්නට උත්සුක වූ දරුවාට පෙට්ටගම නිසි ලෙස අගුලුලන තුරු නිවනක් නොවිණි.

“බොහොම පරෙස්සම් ළමයා, මෙයා ලොකු දේවල් කරයි. ටවුමේ ඉස්කෝලෙකට දාන්න ඕන,” මේ දෙස බලා සිටින කන්නන් ආඩම්බරයෙන් කීවේය.

දැන් කන්නන් කාසි කැටය සොලවා එහි විවරය ආලෝකයට අල්ලා බැලුවේ එහි ඇති මුදල දැනගැනීමටයි. බිරිඳ ගැන දැනුණු ගැඹුරු නොරිස්සුම නිසා ඔහු නපුරු අදහසකට ගොදුරු විය. කාසි කැටය උඩු යටිකුරු කළ ඔහු එහි කාසි ගැටෙන හඬින් දෙකන් බිහිරි වන තුරු එය වැරෙන් සෙලවූවේය. නමුත් කම්මල්කරු තමන්ගේ රාජකාරිය මනාව ඉටු කර තිබුණි. කැටයේ විවරය කාසියක ගනකමම වූ නිසා ඊට කාසි දමනු හැකි වූ නමුත් ඒවා ඉන් පිටතට ආවේ නැත. මෙලොව කිසිම බලයකට ඒවා පිටතට ගැනීමට නොහැකි බවක් පෙනුණි.

මඳ වෙලාවකට පසු තම කාර්යය මොහොතකට නැවැත්වූ කන්නන් තමන්ගෙන්ම මෙසේ ප්‍රශ්න කළේ ය. “දරුවාගේ මේ සල්ලි මම ගන්න උත්සාහ කරන එක හරි වැඩක්ද?” “මොකද නැත්තේ?” ඔහු තුළින්ම සිත වශී කරවන සුළු කටහඬක් නැඟුණි. “තාත්තාත් පුතාත් දෙන්නාම එක්කෙනෙක්. අනික තමුන් ඔය මුදල වගේ දෙතුන් ගුණයක් හොයාගත්තාම ඒ ටික ආයෙත් කැටයට දාන්න පුළුවන්. ඒ හින්දා හරියටම බැලුවොත් නම් ඔය කැටය කඩන එකෙන් ඔයා පුතාට කරන්නේ වාසියක්.” මේ සිතිවිල්ලෙන් ඔහුගේ සිතේ වූ කුකුස සමනය විය. කැටයේ විවරය පළල් කරන්නට සුදුසු උපකරණයක් සොයමින් ඔහු වටපිට බැලුවේය. නිවස වටා ගොස් ඔහු ඒ සඳහා තේරුමක් නැති දේවල් - නූල්, පොරෝප්ප ඇබ, ඉවත දමන ලද හරක් ලාඩමක්- වැනි දේවල් එක් රැස් කළේය. එහෙත් ඔහුට එකම මුවහත් උපකරණයක් වත් සොයා ගැනීමට හැකි වූයේ නැත. මෙහි තිබුණු පිහියට කුමක් වී ද? තමන්ගේ බිරිඳගේ සෑම දෙයක්ම සඟවා තැබීමේ පුරුද්ද ගැන ඔහුට නොරිස්සුමක් දැනුණි. ඇය එය තම සහෝදරයා වෙත රැගෙන ගියා විය නොහැකිද?

කාසි කැටය අතින් ගත් කන්නන් තව ටික වෙලාවක් එය පොළොවේ ගහමින් පසුවිය. මේ නිසා එහි හැඩය වෙනස් වී අබලි වූවා මිස ඒ තුළ වූ වස්තුව නම් එළියට ආවේ නැත. වටපිට බලද්දී කන්නන් ගේ නෙත ගැටුණේ දේව රූපයක් ඇණයකින් එල්ලා ඇති අයුරු ය. රූපය ඉවත් කර ඇණය බිත්තියෙන් ගලවා ගැනීමට ඔහු සමත් විය. ඉනික්බිති බිම වැටුණු දේව රූපය දෙස බැල්මක් හෙලූ ඔහුට මඳ අපහසුතාවක් දැනෙන්නට වූ නිසා ඔහු වහා වහා එහි දෙපය වෙත තම දෑස යොමු කළේය. ගල් කුට්ටියක් ගෙන ආ කන්නන්, එක් අතකින් ඇණය කාසි කැටය මත තබා අල්ලාගෙන අනෙත් අතින් ඒ වෙතට වැරෙන් ගල් පහරක් එල්ල කළේ ය. නමුත් ඇණය ලිස්සා ගිය නිසා ගල් පහර ඔහුගේ මහපටඇඟිල්ලට වැදී එය නිල් විය. වේදනාවෙන් කෑ ගැසූ කන්නන් කාසි කැටය වීසි කර දැමුවේය. එය නිවසේ මුල්ලකට වීසි වී ගොස් තමන් දෙස නපුරු ලෙස බලා ඉන්නා බවක් ඔහුට හැඟිණි.

“උඹ මහා බල්ලෙක්!” ඔහු ඊට බැන වැදුණේ ය. තැලුණු මහපටඇඟිල්ලේ වේදනාව විඳිමින් මඳ වෙලාවක් ගත කළ ඔහු අන්තිමේදී රතු බෙලෙක් බඳුන දෙස බැල්මක් හෙලා “දෙන්නම් උඹට වැඩක්,” යැයි කියා නැගිට ගියේය. නිවසේ කුස්සිය ලෙස ගැනුණු මුල්ලට ගිය ඔහු නැවත ආවේ මිරිස් ගලේ අත් ගල හිසට ඉහළින් දෑතින්ම ඔසවාගෙනයි. ඉනික්බිති බෙලෙක් බඳුන වෙත ගොස් ඔහු සිරස් ව අත් ගල එය මතට අත හැරියේය. මෙය නම් සවිමත් බවෙන් කාසි කැටයට වඩා ඉදිරියෙන් තිබුණු බව ඔප්පු කරමින් මේ පහරින් බෙලෙක් බඳුන පැතලි වී ගොස් එක පසෙකින් විවර විය. ඉක්මණින් එතුළට අතැඟිලි යවා එහි වූ කාසි පිටතට ගත් ඔහු ඒවා ගිජු ලෙස ගණන් කරන්නට විය. එහි පයිස තුනේ තඹ කාසි වලින් ආනා හයක් විය. තම දෝතියේ ඉනේ මේ කාසි රඳවාගත් ඔහු නිවසේ දොර අගුලු ලා ඉන් පිටව ගියේය.

මන්තපාම් හිදී වාසනාව ඔහුව හැර ගියා නොව එය ඔහු අහලකටවත් ආවේ වත් නැත. ටික වෙලාවකින් ඔහුට ඔහුගේ මුදල් සියල්ල අහිමි විය. තව ටික වෙලාවක් ඔහු ණයට සෙල්ලම් කළත් ඔහුගේ වාරය ඊට වඩා ගෙවීමේ හැකියාව ඇති කෙනෙක් වෙනුවෙන් ලබාදිය යුතු බව කිසිවෙක් විසින් යෝජනා කරන ලදී. එක් වරම හුන් තැනින් නැගිටගත් ඔහු නිවෙස බලා පිටත්ව යද්දීත් හිරු දීප්තිමත්ව බැබලෙමින් තිබිණි.

කන්නන් තමන්ගේ වීදියට හැරෙද්දී එහි එහා කෙළවරේ දුටුවේ එක් අතකින් පොට්ටනියක් එල්ලාගෙන අනෙත් අතින් දරුවාගේ අත අල්ලාගෙන පැමිණෙන සිය බිරිඳයි. ඔහු විස්මයෙන් බලා සිටියේය. “මේක හීනයක් වේවා!” ඔහු තමාටම කියාගත්තේය. “මේ පැත්තට එන බස් එකක් හම්බවුණ නිසා මම ගෙදර ආවා.” ඔහු අසලට පැමිණි බිරිඳ කීවාය. ඇය නිවසේ ඉදිරිපස දොර වෙත යමින් සිටි අයුරු ඔහු බලා සිටියේ නැඟී එන නොපැහැදිලි භීතියකිනි. ඇයගේ බඩු බාහිරාදිය එළියට අදින ලද පෙට්ටගම, බිම දමන ලද දේව රූපය, තලා දමන ලද රතු බෙලෙක් කාසි කැටය- ගෙතුළට පා තැබූ සැණින් ඇය මේ හැම දෙයක්ම එක වර දකිනු ඇත. මේ අවස්ථාවෙන් ගැලවීමක් නොවිණි. ඔහු දොර විවර කළේ යාන්ත්‍රිකවයි.

“මොකද ඔය මූනේ හැටි?” ගෙතුලට පා තබද්දී ඇය ඇසුවාය. පුතු ඔහු වෙත කාසි කීපයක් පෑවේය.

“මේවා මගේ කැටයට දාන්න කියලා මාමා දුන්නා.” ඔහු කීවේය.

කන්නන් ගේ මුවින් නැඟුණේ කාලකණ්නි බවේ කෙඳිරියකි.

“ඇයි තාත්තේ?” දරුවා ඇසුවේය.

“මුකුත් නැහැ, මගේ ඇඟිල්ලක් තැලුණා,” ඔහු සිය මහපටඇඟිල්ල පෙන්වමින් මිමිණුවේය.

එළඹෙන්නට නියමිත කුණාටුවට මුහුණ දෙන්නට හිත හදා ගනිමින් ඔහු ඔවුන් පසුපසින් නිවස තුළට පිවිසුණේය.


Nissanka Rajapaksa

unread,
Aug 11, 2024, 8:48:27 PM8/11/24
to INDRAKA group
33
මදු මලක්

ඇන්ටන් චෙකෝප්

1985 සැප්තැම්බර් කල්පනා සගරාවට ආතර් යූ අමරසේන මහතා පරිවර්තනය කල කෙටිකතාව:






Nissanka Rajapaksa

unread,
Aug 12, 2024, 7:50:31 PM8/12/24
to INDRAKA group
34
පෙට්ටගම

ෂර්මිලා බංදුනී දංවත්ත

පෙට්ටගම මේ සා විශාල කලබැගෑනියකට මුලක් වේ යැයි මිය ගිය අත්තම්මා හීනෙකින්වත් නොසිතන්නට ඇත. ජීවත්ව සිටිනා තුරුම පවුල එක මිටකට තබා ගනිමින් නෑදෑ හිතවත්කම් අකුරටම පවත්වා ගෙන ගියේ අත්තම්මාය. තමන් දෑවැද්දට ගෙනා පෙට්ටගම මරණයකට මඟුලකට සහභාගී නොවන තරමටම පවුල විරසක කරනු ඇතැයි මෙයට වසර ගණනාවකට පෙර මිය පරලොව ගිය අත්තම්මා කෙලෙස සිතන්නද?

මා මෙන්ම අප සොයුරු සොයුරියන් සිව් දෙනාම උපන් මහ ගෙදර මැද සාලයේ විරාජමාන වූ පෙට්ටගම එකල අපගේ කුතුහලය ඇවිස්සූ අද්භූත මැජික් පෙට්ටියක් විය. කිසිදා අපට සැර වැර නොකරන අත්තම්මා පෙට්ටගම අරින වහන කටයුත්තට නම් අවසර දුන්නේ නැත.

මගේ මතකයේ අද ද ආත්තම්මා රැඳී ඉන්නේ පෙට්ටගමේ යතුරු කරැල්ලත් සමඟින්මය. සිලි සිලි හඬ නඟමින් සෙලවෙන යතුරු කැරැල්ල ඉනේ එල්ලාගෙන ගෙතුළ එහා මෙහා යන අත්තම්මා නින්දට යන විට එය කොට්ටය යට තබාගනී.

එහෙත් අමතක වීමකින් හෝ යතුරු කැරැල්ල පෙට්ටගමේ ම රැඳී තිබෙනා දිනයක එතුළට එබී බැලීමට ලැබෙන අවස්ථාව ලොකු අයියා හැර පොඩි අයියාත්, මමත්, නංගීත් අතපසු කරන්නේ නැත. පිළිවෙළට නවා ඇති ළා පැහැති ඔසරි, සිල් රෙදි අතර අලංකාර ඇට මාල, හවඩි, හවරි කොණ්ඩ කූරු අපගේ කුතූහලය අවුස්සයි. දැනුදු ඉඳහිට පෙට්ටගම විවර කරන විට එතුළින් එකල හැමූ හුරුපුරුදු සැවැන්දරා හා කපුරු සුවඳ හමා ඒ.

නංගී උපන් පසු මා රාත්‍රියට නිදා ගත්තේ අත්තම්මාගේ වියන් ඇඳේ ඈ සමඟය. එවිට මට පෙරවන්නට දෙන රෙදිවලින් හැමුවේ ද පෙට්ටගමෙන් හමා එන සුවඳමය. හැංගිමුත්තම් කළ දිනයක පොඩි අයියා මා පෙට්ටගම තුළට දමා වැසූ දිනයේදී නම් එහි ඇති අඳුරට බියවූ මා මහ හඬින් හඬමින් පෙට්ටගමට පහර දුන් අයුරුත් අප්පච්චී පැමිණ මා පිටතට ගෙන පොඩි අයියට තැළූ අයුරුත් මතකය.

පෙට්ටගම හා සම්බන්ධයෙන් ලොකු අයියා පිළිබඳ මතකයක් නම් මට නැති අතර ඔහු ඒ වනවිට ද අපට වඩා බොහෝ ගාම්භීර බවක් මවාගෙන කටයුතු කළ අයකු විය.

කළුවර ලීයෙන් තනා හොඳින් ඔප දමා රන් පැහැති පිත්තල කැටයම් අල්ලා අලංකාර කර තිබෙන පෙට්ටගම අත්තම්මාගේ මරණයෙන් පසු මහගෙදරම විසූ ලේලිය වන අම්මාට අයිති විය. ඒ පිළිබඳව නැන්දා නම් සිටියේ නොසතුටෙනි. එනමුත් අප්පච්චීට එරෙහිව එය රැගෙන යාමට නැන්දා එඩිතර නොවූවාය. ඉඳහිටක මහගෙදර ආ දිනකදී පෙට්ටගම අසල කැරකෙමින් එය අතපත ගාන නැන්දා මා දැක ඇත.

වෛද්‍යවරයකු වන ලොකු අයියා විවාහවී පදිංචිය සඳහා කැනඩාවට ගොස් දැන් බොහෝ කල්ය. ගුරුවරියක වන නංගී විවාහ වූයේ නුවරටය. විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු පොඩි අයියා විවාහයෙන් පසු කොහුවල මාලතී අක්කාගේ මහ ගෙදරම පදිංචි වී සිටී. බැංකු කළමනාකරුවකු වන මා සුභද්‍රා සමඟ විවාහ වී ආසන්න නගරයක සේවය කරමින් පදිංචි වූයේ මහ ගෙදරමය. නාගරික ගති සිරිත් හුරු කාන්තාවක වන සුභද්‍රා මහ ගෙදර ජීවිතයට මනාප නොවූවත් “පවුලේ බාලයා” ලෙස උරුමය මෙන්ම කරුමය ද පැවරුණේ මටම ය.

විදුහල්පතිවරයකු වූ අප්පච්චී මිය යෑමට කලකට ඉහතදී ඔහු සතු චංචල, නිශ්චල දේපළ ඉතාම සාධාරණ ආකාරයට අප හතරදෙනා අතර බෙදා දුන්නේය. ඒ අනුව වෙනත් වතුපිටි සමඟින් මහ ගෙදර ද එහි ගෘහ භාණ්ඩ ද ඒවා අතරට ගැනෙන පෙට්ටගම ද නිරායාසයෙන්ම මට හිමි විය. වෙනත් දේපළ කෙසේ වෙතත් පෙට්ටගම කෙරෙහි සුභද්‍රා දැරුවේ සතුරු ආකල්පයකි.

ඒ වන විට පෙට්ටගම අම්මාගේ පරිහරණය යටතට පත්ව තිබූ අතර අම්මා ද තම නැන්දම්මාගෙන් ලද උරුමය මහත් ගෞරවයෙන් හා ආඩම්බරයෙන් පරිහරණය කළාය. සංකර අදහස් උදහස් තිබූ සුභද්‍රා පෙට්ටගම සාලය මැද තිබෙනවාට නොයෙක් ආඩපාලි කිව් නමුත් අම්මා මියයන තෙක්ම පෙට්ටගම තිබූ ස්ථානයෙන් ඉවත් කිරීමට මගේ හිත ඉඩදුන්නේ නැත.

අම්මා මියගොස් නොබෝ දිනකින්ම පෙට්ටගම අත්තම්මාත් පසු කාලයකදී අම්මාත් පරිහරණය කළ කාමරයේ මුල්ලකට වීසිවී ගිය අතර එය සුභද්‍රාට මහත් අස්වැසිල්ලක් විය.

අම්මාගේ තුන් මස දානයට පැමිණි නංගී පෙට්ටගමට ගොස් ඇති කලදසාව දැක කම්පාවී මගෙන් පෙට්ටගම නුවර ගෙන යාමට අවසර ඉල්ලූ මුත් එවිට සුභද්‍රා කීවේ වෙනම ම කතාවකි.

“නංගිට දෙන්න ඕන ඒවා දීලයි පිටත් කරලා ඇරියේ”

“ඔය පෙට්ටගම ඔහෙ තිබුණාවේ”

ඉන් එහා කතාවකට මා නොගිය අතර නංගී ද ඉන්පසුව ඒ පිළිබඳව මතක් නොකළාය. මාලතී අක්කා ද වරක් දෙවරක්ම විහිළුවට මෙන්

“මේක හරියන්නේ අපේ සාලෙට තමයි”

කියූ මුත් කෙළින්ම පෙට්ටගම ඉල්ලා සිටියේ නැත.

මැද මිදුලකින් හා ගෘහ කොටස් තුනකින් සමන්විත මහ ගෙය සුභද්‍රාට නම් කෙදිනකවත් ප්‍රිය උපදවන ස්ථානයක් වූයේ නැත. ඇගේ සිහිනය වූයේ නවීන පන්නයට තැනූ දෙමහල් නිවෙසකි. ඒ අනුව මහ ගෙදර වත්තේම ගේට්ටුව කිට්ටුවට වන්නට නව නිවසක් ගොඩනැඟීම ආරම්භ වූයේ මවගේ මරණයට ද පෙරදීමය. ටිකෙන් ටික ගොඩනැඟුණු නිවෙසේ වැඩ අවසන්ව තිබුණෙන් ගෙට ගෙවදීම යොදාගෙන තිබෙන්නේ ලබන මස දෙවැනිදාටය.

නව නිවෙසට ගෙවැදීමේදී මහ ගෙදර තිබෙන කිසිදු ගෘහ භාණ්ඩයක් ගෙනයාමට සුභද්‍රා සතුටු නොවූවාය. ඒ අනුව ගෙට අවශ්‍ය නව ගෘහ භාණ්ඩ තැනවූ මා, පැරණි ගෘහ භාණ්ඩ අවශ්‍යතාව ඇති දන්නා හඳුනන අය අතර බෙදාදීමට කටයුතු යෙදූ අතර පෙට්ටගම දීමට තීරණය වූයේ පන්සලටය.

මේ තීරණය දැනගත් විශ්වවිද්‍යාලයේ සිට නිවාඩුවට ගෙදර විත් සිටි දියණිය

“හරියට පොට්ට කාසිය සම්මාදම් වට්ටියට දැම්මා වගේ” යැයි කියමින් හිනැහිණි.

එයට ද හේතුවක් තිබිණි. භාණ්ඩ බෙදීමට පෙර මා මුලින්ම ඇමතුවේ නංගීට ය. ඇගෙන් පෙට්ටගම හෝ වෙනත් කිසිවක් ගෙනයෑමට අවශ්‍ය දැයි විමසූ විට

“ඒ දවස්වල දුන්නා නම් පෙට්ටගම ගෙනියනවා. දැන් මට ඕවයෙන් වැඩක් නැහැ අයියේ” යැයි පැවසුවාය.

මාලතී අක්කා පෙට්ටගමට ඇති කැමත්ත මතක්වී ඒ පිළිබඳව පොඩි අයියාගෙන් විමසීමේදී

“මෙහෙ ගේන්න එපා”

“මෙ‍හෙ ගේන්න එපා”

ලොකු අයියාගෙන් කිසිවක් නොවිමසුවේ කැනඩාවට මෙහි ඇති ගෘහ භාණ්ඩ කිසිවකින් පලක් නොවනු ඇතැයි සිතූ නිසාය.

නමුත් ගැටලුව පැන නැංගේ කැනඩාවෙනි.

අවශ්‍යතාවකට විනා ඇමතුමක් නොගන්නා ලොකු අයියා ගිය සති අන්තයේ කතා කළේ ආවේගයෙනි.

“උඹ අපේ දේපළ ගේ දොර දන් දෙන්නේ කාගෙන් අහලද?”

“අත්තලා මුත්තලා කාලෙ ඉඳන් තිබුණු ගේ දොර නිකරුණේ අත්හැරලා දැම්මා මදිවට ඇඳ පුටු මේස ටිකත් බෙදලා දාලා අත්තම්මාගේ සුවඳ තියන පෙට්ටගමත් පන්සලට ගිහිං දැම්මා”

“උඹ කොහොමද තනිවම එහෙම තීරණයක් ගන්නේ? ගේ දොර උඹට ලිව්වට පෙට්ටගම උඹට ලිව්වෙ නැහැනේ”

“අනෙත් ඒවට උඹට ඕන දෙයක් කරගනින්”

“මට ඕනේ පෙට්ටගම”

“පවුලේ වැඩිමලා විදියට ඕක පන්සලට උස්සගෙන යන්න කලින් මගෙන් අහන්න තිබුණා”

“මම හිතුවා කැනඩාවට පෙට්ටගම ඕන වෙන එකක් නැහැ කියලා”

මම සාවදානව කීවෙමි.

“ඒක තීරණය කරන්නේ මම නේ. අදම ගිහින් පන්සලෙන් පෙට්ටගම අරගෙන ඇවිත් පොඩි මල්ලිලාගේ ගෙදරට ගිහින් දාපන්. ලබන මාසේ මම ලංකාවට එනවා. ආවට පස්සේ කරන්න ඕන දේ තීරණය කරන්නම්”

මම වැටුණේ මහත් අමාරුවකය.

පන්සලට පූජා කළ දෙයක් නැවත ඉල්ලන්නේ කෙසේද?

අසරණ වූ මා පොඩි අයියා ඇමතූ අතර ඔහු ද මගේ ඇඟට කඩා පැන්නේ තවත් මා අසරණ කරමින්ය.

“ගේත් එක්කම ඔක්කොම බඩුමුට්ටුත් බදාගන්නකොට හිතන්න තිබුණා කවදා හරි ඕවා ඔක්කොම හිසරදයක් වෙයි කියලා”

“දැන්නම් එක මොහොතකටවත් ඔය පෙට්ටගම මගේ ගෙදරට නම් ගේන්න එපා. බදාගත්තා නම් තමුන්ම විසඳගන්නා එකයි තියෙන්නේ”

ඔහු දුරකතනය තැබුවේ මගේ කනට ගසස්නාක් මෙනි.

පෙට්ටගම පිළිබඳ තොරතුරු කැනඩාවට ගොස් තිබුණේ නුවර නංගීගේ මාර්ගයෙන් යැයි සැක සිතූ සුභද්‍රා නංගීට දුරකතනයෙන් දෙහි කපා තිබුණේ මට වත් නොකියාමය.

අද උදෑසන මා ඇමතු නංගී ගෙට ගෙවදීමට පැමිණිය නොහැකි බවත් මින් පසු ගමට පැමිණීමට තමන්ගේ අදහසක් නොමැති බවත් තමන්ට වුවමනා වුවත් මස්සිනා එයට ඉඩ නොදෙන බවත් පැවසුවේ හඬා වැටෙමිනි.

අවසන මා තීරණයක් ගතිමි.

පෙට්ටගම දැන් තිබෙන්නේ එයට සුදුසුම ස්ථානයේය. කිසිවකුට පුද්ගලිකව අයිතිවාසිකම් කිව නොහැකි සඟ සතු ස්ථානයකය.

කවුරු මොනවා කීවත් කළත් අත්තම්මා මෙන්ම අම්මා ද සිටිනා තැනක හිඳ සාදුකාර දෙනු නොඅනුමානය. එනමුත් මා නව නිවෙසට ගෙවදින්නේ සහෝදර සහෝදරියන් කිසිවකුත් නොමැති පුද්ගලයකු ලෙසය.

අචේතනික පෙට්ටගමකට ලේ බැඳීමක් වුවද බිඳ දැමිය හැකි වීම කෙතරම් පුදුම සහගත ද?

https://www.silumina.lk/2024/08/10/news-features/23114/%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%9C%E0%B6%B8/

Nissanka Rajapaksa

unread,
Aug 13, 2024, 7:52:00 PM8/13/24
to INDRAKA group
35
'හිරු බැස යද්දී'

මියන්මාර් ලේඛක තෙයින් පී. මින්ට්⁣ගේ කෙටිකතාවක් 

 පරිවර්තනය ⁣බොබී ජී. බොතේජු 








Nissanka Rajapaksa

unread,
Aug 14, 2024, 8:32:10 PM8/14/24
to INDRAKA group
36
නත්තලට පෙර දා

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

උණුසුම් උඳුන අසල රාත්‍රී ආහාරය සකසමින් සිටි 'කාල වර්ණ' සේවිකාව වන ආසීට දැනුණේ මහත් වෙහෙසකි. එදා දවසේ කෑම වේල් සඳහා කෑම පිසින අතරතුරේදීම ඈ තමන් සේවය කළ සුදු ජාතිකයන්ගේ නිවස හෙට එළඹෙන නත්තල වෙනුවෙන් සම්පූර්ණයෙන්ම පිරිසිදු කර තිබිණි. ඒ වෙද්දී ඇයට දරුණු කොන්දේ වේදනාවක් දැනුණු අතර අධික තෙහෙට්ටුව නිසාම ක්ලාන්ත ගතියක්ද දැනුණි. ඉක්මණින්ම ගෙහිමි කාන්තාවත් ඇගේ දරු දෙදෙනාත් රාත්‍රී ආහාරය ගැනීමට නිවසට පැමිණෙන්නේ නම් ඇයට තම වැඩ මුරය අවසන් කරන්නට හැකි වනු ඇත. දැනටමත් දිලිසෙන සැරසුමින් පිරි ඉටිපන්දම් දැල්වීමට සූදානම් කර තිබුණු නත්තල් ගසේ එල්ලීමට තවත් විසිතුරු අරුමෝසම් දේ මිලදී ගැනීමට ඔවුන් ගොස් තිබිණි. 

ජෝ වෙනුවෙන් තමන්ටද නත්තල් ගසක් මිළදී ගන්නට ඇත්නම් කියා ආසීට සිතුණි. ළමා කාලයේදී එවැනි දේ ලැබීම සුන්දර අත්දැකීමක් වූවත් ඔහුට කිසිදිනක එවැන්නක් ලැබී තිබුණේ නැත. පස් හැවිරිදි ජෝගේ හයවෙනි උපන්දිනයට තිබුණේ මාස කිහිපයකි. සුදු ගෙහිමියන්ගේ උදුනේ රෝස්ට් වෙමින් තිබුණු මස් වෙත දෑස යොමු කරගෙනම ආසී කල්පනා කළේ සෙල්ලම් බඩු වෙනුවෙන් ඇයට එදින කෙතරම් මුදලක් වෙන්කළ හැකිද යන්නයි. ඇයට සතියකට ලැබුනේ ඩොලර් හතක පඩියක් වූ අතර ඉන් හතරක්ම වැය වූයේ ඇගේ නවාතැනටත්, ආසී වැඩට ආ විට ජෝ ව බලාගත් ඒ නිවස හිමි කාන්තාවට ගෙවීමටත් ය. 

"දෙවියනේ, දරුවෙක් උස් මහත් කරන එක හිතන තරම් ලේසි නැහැ," ඈ කල්පනා කළා ය. 

මුළුතැන්ගෙහි මේසය මත වූ ඔරලෝසුව වෙත ඈ දෑස් යොමු කරද්දී හත පසුවී තිබිණි. සුදු මිනිසුන් මෙතරම් අනුන් කෙරෙහි නොසැලකිලිමත් වූවේ කෙලෙසද? ඔවුන් රාත්‍රී අහාරයට ගෙදර නොඑන්නේ ඇයි? කඩ පෙළ වසා දමන්නට පෙර ඇය බඩු මිළදීගත යුතු බව ඔවුහු දැන සිටියහ. ඔවුන් ඉක්මණින්ම නොපැමිණියහොත් ඇයට ජෝ වෙනුවෙන් කිසිවක් මිළදී ගන්නට නොහැකි වනු ඇත. ජෝ බලාගත් කාන්තාවත්, ඉක්මණින් ඔහුගෙන් මිදී කඩ පොළ වෙත යාමට මඟ බලා සිටිනවා ඇත. 

"මොන කරුමයක්ද!" ආසී තමාටම කියාගත්තාය. "මට සල්ලි තිබුණා නම් මම මෙයාලගේ කෑම උදුනේම තියලා යනවා. කඩ ටික වහන්න කලින් යන්නයි මට වුවමනා." ඒත් ඇයට ඒ වෙද්දීත් ඒ සතියේ පඩිය ලැබී තිබුණේ නැත. පඩි ලැබීමට නියමිත දවසට දිනකට පමණ පෙර වැටුණ ඒ දිනයේදී ඇයට පඩි ගෙවීමට ගෙහිමි කාන්තාව පොරොන්දු වී තිබුණි. 

නිවසේ ඉදිරිපස දෙසින් දොරක් වැහෙන හඬත්, සිනා සහ කතාබහ හඬත් ඇසෙන්නට විය. ඒ වෙත ගිය ආසී දුටුවේ ගෙහිමි කාන්තාවත් ඇගේ දරුවනුත් ඔවුන්ගේ හිම කබා ගලවන අයුරුයි. 

"ම්ම්ම් අද නම් නියම ක්‍රිස්මස් ඊව් එකක්," එක දරුවෙක් ආසී ට කීවේය. "එළියේ හොඳටම හිම වැටෙනවා, අම්මා තව පොඩ්ඩෙන් රතු ලයිට් එකකට කාර් එක නවත්තන්නේ නැතිව එලවාගෙන යනවා. හිම හින්දා එළියේ කිසි දෙයක් පේන්නේ නැහැ, මරු!"

"කෑම ලෑස්තියි," ආසී කීවාය. තම පාවහන් හිමේ ඇවිදීමට නුසුදුසු බව ඇයට කල්පනා වෙමින් තිබිණි. 

එදින සුදු ගෙවැසියන් කෑමට හැකි තරම් වෙලාව ගත් බවක් ආසී ට හැඟිනි. ඈ පිඟන් සෝදන අතරේදී ගෙහිමි කත ඇගේ මුදල් රැගෙන පැමිණියාය. 

"ආසී," ඈ කීවාය, "සමාවෙන්න, මම ඔයාට අද ඩොලර් පහක් විතරක් දුන්නොත් ප්‍රශ්නයක්ද? මේ ළමයි එක්ක තෑගි ගන්න ගිහින් මගේ මාරු සල්ලි ඉවර වුනා."

"මට ඩොලර් හතක් ලැබෙනවා නම් තමයි කැමති," ආසී කීවාය. "මට ඒ මුදල ඕන."

"කරන්න දෙයක් නැහැ මගේ ළඟ හතක් නැහැ ඔයාට දෙන්න," ගෙහිමි කත කීවාය. "සතියම ගෙවෙන්න කලින් ඔයාට සම්පූර්ණ මුදලම වුවමනා බව මම දැනගෙන හිටියේ නැහැ. මගේ ළඟ මාරු සල්ලි නැහැ."

ආසී ඩොලර් පහ ගත්තාය. හැකිතරම් උණුසුම් ලෙස සැරසුණු ඈ පා ඉක්මන් කර ගියේ කුඩා ජෝ සිටි තම නිවස වෙතටයි. ඔහුට අඩුම තරමේ නගරයේ කඩ සාප්පු වල ඇති නත්තල් ගස් බලන්නට ඉඩ ලැබෙනු ඇත.

කහ පැහැති සමකින් යුතු, තරබාරු, ඇගේ නිවස හිමි කාන්තාව පසුවූයේ කේන්තියෙනි. "ඔයා මේ දරුවා ගන්න අද ඉක්මණින් ඒවි කියලා මම හිතුවා. මාත් කැමතියි ඉඳහිට එළියට යන්න, හරිද?" ඈ ආසී ට දොස් පැවරුවාය.

ආසී ඊට පිළිතුරු නොදුන්නේ දරුවාව දිවා රෑ දෙකෙහිම බලාගැනීම තමන්ගේ රාජකාරිය නොවන බව ඈ කීමට ඉඩ ඇති නිසායි. 

"එන්න ජෝ," ආසී තම පුතුට කීවාය, "අපි පාර දිගේ යමු."

"මට ආරංචියි නගරයේ නත්තල් සීයෙක් ඉන්නවා කියලා," ජෝ තම තුනී වූ කුඩා කබාය ඇඟලා ගනිමින් කීවේය. "මට එයාව බලන්න ඕන."

"ඒක නම් මම දන්නේ නැහැ," ඔහුගේ මව කීවාය. "ඉක්මන් කරලා ඔය බූට්ස් දෙක දාගන්න. වැඩි වෙලාවක් යන්න කලින් කඩ ටික වහයි."

නගරය වෙත යාමට සෑහෙන දුරක් යා යුතු විය. හිම වැටෙද්දීම ඒ මැදින් දෙදෙනා ඇවිද ගියේ තරමක අපහසුවෙන් වූවත් හිම නිසා දසත අලංකාර දසුනක් මැවුනි. 

නගරයේ ප්‍රධාන වීදියේ නිල් සහ රතු විදුලි බුබුළු එල්ලා තිබුණි. නගර ශාලාව ඉදිරිපස නත්තල් ගසක් තිබුණත් එහි තිබුණේ විදුලි බුබුළු පමණක් වූ අතර එය පාමුල තෑගි තිබුණේ නැත. වෙළඳසැල් කවුළුවල සෙල්ලම් බඩු රැසක් තිබුණත් ඒවා තිබුණේ විකිණීම පිණිසයි.

"අම්මා, මට අරවා ඕන-" ජෝ නිරතුරුවම එසේ කීවත් ඔහුගේ මව නෑසුණු සේ ඉදිරියටම ඇවිද ගියාය. ඒ වෙද්දී රාත්‍රී දහයට ආසන්නව තිබුණු අතර වෙළඳසැල් වසා දමන්නට ආසන්න විය. ආසී ට ජෝ වෙනුවෙන් බාල අත්වැසුම් ජෝඩුවක්, ඔහුව උණුසුම් ව තබන්නට ආයිත්තමක් සහ සෙල්ලම් බඩුවක් දෙකක් ගන්නට වුවමනාව තිබිණි. පාවිච්චි කරන ලද ඇඳුම් විකුණන තැනකින් කුඩා දරුවන්ගේ ඇඳුම් කිහිපයක් ලබාගනු හැකිවෙනු ඇතැයි ඈ සිතුවාය. ශත දහයට බඩු විකුණන වෙළඳ සැලින් සෙල්ලම් බඩු කිහිපයක් ද ගනු හැකි වනු ඇත. 

"ඕ අර බලන්න!" කුඩා ජෝ වෙළඳ සැල්වල කවුළු වෙත අත දිගු කරමින් මතුරමින් සිටියේය. සැරසිලි සඳහා යොදාගෙන තිබුණු විදුලි බුබුළු වැල් මෙන්ම වෙළඳ සැල් පෙළත් ඒවායේ දිදුලන නාම පුවරුත් උණුසුම් ව අලංකාරව දිස් විය. 

ජෝ සඳහා අත්වැසුම් සහ වෙනත් දේ මිලදී ගැනීමට ආසී ට ඩොලරයකට වඩා වැය විය. තවත් වෙළඳ සැලකින් ඈ ශත හතලිස් නමයකට ඔහුට විශාල රස කැවිලි මල්ලක් ගත්තාය. ඉනික්බිති ඈ සෙනඟ අතරින් ඔහුව මිළ අඩුවට භාණ්ඩ විකුණනු ලබන තැනකට කැඳවාගෙන ගියාය. ඒ අතරමගදී ඔවුහු චිත්‍රපටි ශාලාවක් පසු කළහ. එහි ගොස් චිත්‍රපටි නැරඹීමට තමන්ට වුවමනා බව ජෝ කීවේය. 

"බැහැ දරුවෝ! බැල්ටිමෝර් වල වගේ මෙහෙ කළු ජාතිකයින්ට චිත්‍රපටි බලන්න බැහැ. මේ වගේ පොඩි නගරවල ඊට ඉඩක් නැහැ. අපිට ඇතුළට යන්න බැහැ." ආසී කීවාය. 

"ආහ්!" එය අසා කුඩා ජෝ කීවේය.

ශත දහයට බඩු විකුණන වෙළඳ සැලේ මහත් සෙනඟක් රැස් කමින් සිටියහ.ඉන් පිටත නැවතී තමන් එනතුරු සිටින ලෙස ආසී ජෝ ට කීවේ සෙනග අතරේ ඔහුව කැටුව යාම දුෂ්කර ක්‍රියාවක් බැවිනි. එමෙන්ම ඇය මිළට ගැනීමට බලාපොරොත්තු වූ සෙල්ලම් බඩු ඔහු දකිනවාට ඇය මනාප වූයේ නැත. ඒවා හෙට දින උදෑසන නත්තල් සීයාගෙන් ලැබෙන්නට නියමිත විය. 

කුඩා ජෝ වෙළඳ සැල ඉදිරිපස ආලෝකය වැටෙන පෙදෙසේ හිම මත බලා සිටියේය. ඔහු පසුකර සෙනඟ යමින් එමින් තිබිණි. දිලිසෙන සැරසිලි සහිත නත්තල කෙතරම් සුන්දරද! නත්තල් සීයා කොහේ හෝ සිට පැමිණ එල්ලා තබන ලද මේස් තුළට තෑගි දමනවා ඇත. මඟ යනෙන හැම කෙනෙකුම පාර්සල් ඔසවාගෙන යමින් සිටි අතර කුඩා දරුවන් වෙතින් දිස් වූයේ මහත් ප්‍රීතියකි.

ටික වෙලාවකින් වෙළඳ සල ඉදිරිපස කල්පනා කරමින් බලා සිටීම ජෝට තිත්ත විය. හාත්පස වෙළඳසැල්වල කවුළුවල බැලීමට දේවල් රැසක් තිබිණි. ඔහු වටපිට බලමින් ටිකෙන් ටික ඉදිරියට යන්නට ගත්තේය . මෙසේ ඇවිදිමින් සිටි ඔහු සුදු ජාතිකයන්ගේ චිත්‍රපට ශාලාව දක්වා ම පැමිණ තිබිණි. 

චිත්‍රපටි ශාලාවේ පිවිසුම් හලත්, එහි වීදුරු දොරවල් වලින් ඔබ්බෙන් ඇති පෙදෙසත් උණුසුම් ව, දිලිසෙමින් ඉතා අලංකාර ව දිස් විය. එතුළට එබී බැලූ ජෝ, එහි තිබුණු හොලී අතු, පාට පීත්ත පටි සහ විදුලි තරු සැරසිලි යට මනස්කාන්ත නත්තල් ගසක් දුටුවේය. සුදු ජාතික දරුවන් පිරිසක් සහ වැඩිහිටියන් කිහිප දෙනෙක් නත්තල් ගස අසල සිටි රතු ඇඳුමින් සැරසුණු තරබාරු විනෝදකාමී මිනිසෙක් වටා රැස්වී සිටිනු පෙනුණි. ඇත්තටම ඒ කවුද? කුඩා ජෝ ගේ දෑස විශ්මයෙන් මහත් විය. ඒ සිටියේ සාමාන්‍ය මිනිසෙක් නොව නත්තල් සීයා යි! 

කුඩා ජෝ වීදුරු දොර තල්ලු කරගෙන චිත්‍රපටි ශාලාවේ පිවිසුම් කොටස වෙත දිව ගියේය. රැස්ව සිටි පිරිස අතරින් ඔහු රිංගා ගියේ නත්තල් සීයා හොඳින් දැකගැනීමටයි. නත්තල් සීයා කුඩා දරුවන්ට සතුන්ගේ හැඩයෙන් යුතු විස්කෝතු සහිත පෙට්ටි සහ රසකැවිලි වර්ග තෑගි දෙමින් සිටියේය. ඔහුට පසුපසින් වූ නත්තල් ගසේ විශාල දැන්වීම් පුවරුවක් විය. (ජෝට මෙය තවම කියවා ගැනීමට හැකියාව තිබුණේ නැත) 'අපගේ කුඩාම ගනුදෙනුකරුවන්ට නත්තල් සීයාගෙන් සුබ නත්තලක්!" එහි එලෙස සඳහන් විය.

පිවිසුම් ශාලාව වටා තැන තැන තවත් දැන්වීම් පුවරු කිහිපයක් විය. 
"චිත්‍රපටි දර්ශනයෙන් පසු ඔබේ දරුවන් සමඟ නත්තල් සීයා බලන්න යන්න." 
'ජේම් චිත්‍රපටි ශාලාව තම ගනුදෙනුකරුවන් සතුටින් තැබීමට ප්‍රිය කරයි- අපගේ නත්තල් සීයා හමුවෙන්න එන්න"

රතු ඇඳුමකින් සැරසී සිටි නත්තල් සීයාගේ සුදු රැවුල පුරා දිලිසෙන හිම කුඩු විසිරී තිබිණි. ඔහුගේ දෙපා අසල කුඩා බෙර, ටක වැනි ශබ්ද උපදවන සෙල්ලම් බඩු සහ සෙල්ලම් අශ්වයන් තිබුණත් ඉන් කිසිවක් ඔහු තෑගි ලෙස බෙදා දුන්නේ නැත. ඒ අසල තිබුණු දැන්වීමේ සඳහන් වූයේ (ජෝ ට කියවීමට හැකියාවක් තිබුණා නම්) නත්තල් දවසේ කරනු ලබන දිනුම් ඇදීමකදී ඒවා වේදිකාවේදී ජයග්‍රහකයින්ට බෙදා දෙන බවයි. එදින නත්තල් සීයා කුඩා දරුවන්ට බෙදමින් සිටියේ විස්කෝතු සහ රසකැවිලි පමණකි. 

රසකැවිල්ලක් ලබාගැනීමට මහත් ආශාවක් ජෝ තුළ වැඩුණි. ඔහු ටිකෙන් ටික නත්තල් සීයා වෙත ලං වූ අතර අන්තිමේදී ඔහු සිටියේ රැස්ව සිටි සෙනඟට ඉදිරියෙනි. නත්තල් සීයා ජෝ ව දුටුවේ එවිටයි.

නීග්‍රෝ දරුවෙකු දුටු විට මිනිසුන් උපහාසයෙන් හිනැහෙන්නේ ඇයි? නත්තල් සීයාත් අවට රැස්ව සිටි පිරිසත් සුදු ජාතික චිත්‍රපටි ශාලාවක සිටීමට කිසිම අයිතියක් නොතිබුණු ජෝ දෙස බලා එලෙස උපහාසයෙන් හිනැහුණහ. ඉනික්බිති නත්තල් සීයා කපටි ලෙස ඉදිරියට නැමී ඔහුගේ දෙපා අසල තිබුණු යකඩ ටකයක් අතට ගෙන එය මහා හඬින් ජෝ ඉදිරියේ නාද කළේය. මෙය හාස්‍යජනක බැවින් දරුවන් ඇතුළු සියලුම සුදු ජාතිකයෝ මහා හඬින් 
සිනාසුනහ. නමුත් ජෝ සිනාසුණේ නැත. ඒ හඬට මහත් සේ බියගැන්වී සිටි ඔහු ආපසු හැරී චිත්‍රපටි ශාලාවේ උණුසුම් පිවිසුම් හලෙන් පිටත හිම සහ මිනිසුන් පිරුණු මහා මාර්ගයට දිව ගියේය. ඒ සිනා හඬින් බිය වී හඬන්නට පටන් ගත් ඔහු තම මව සොයමින් ඇවිදින්නට විය. නත්තල් සීයා එලෙස ළමයින්ව බිය කර සිනාසෙන කෙනෙක් බව ඔහුට කිසිදිනක සිතී තිබුණේ නැත. 

මාර්ගයේ සිටි ජනකාය යමින් සිටියේ වැරදි අතට බවක් ඔහුට දැනුණි. ඔහුට ඔහුගේ මව වත් ඇය සිටි වෙළඳසැල වත් සොයාගැනීමට නොහැකි විය. වුවමනාවටත් වඩා මිනිසුන්-සුදු මිනිසුන්- දසත පිරී සිටියේ හිම මත වැටුණු සුදු සෙවනැලි ලෙසින් මුළු ලෝකයම සුදු මිනිසුන්ගෙන් පිරී ඇති බවක් දක්වමිනි.

කලබලයත් සිත කරදරයට පත් වීමත් නිසා වත අඳුරු වූ ආසී පාර හරහා දිව විත් ජෝව අල්ලා ගත්තේ ඒ මොහොතේදී ය. ඈ පැමිණෙන තෙක් මහා දිගු කාලයක් ගත වූ බවක් ඔහුට දැනුණි. ඇගේ දෑතේ පාර්සල් පිරී තිබුණත් එක් අතක් නිදහස් කරගත් ඈ, ඔහුව වැරෙන් සෙලවූයේ ඔහුදේ දත් දෙපෙලත් දෙදරා යන පරිදි ය. 

"මම ඉන්න කීව තැන නොහිටියේ ඇයි?" ආසී මහා හඬින් ප්‍රශ්න කළාය. "මම හොඳටම තෙහෙට්ටු වෙලා ඉන්නේ, මට බැහැ ඔයාව හොය හොයා පාරවල් පුරා ඇවිදින්න. මට හිතයි හොඳ ගුටියක් දෙන්න."

ටික වෙලාවකින්, තම හති ඇරීම අඩු වූ පසු චිත්‍රපටි ශාලාවට ගිය ගමන ගැන ජෝ තම මවට කීවේය. 

"ඒත් නත්තල් සීයා මට කිසි දෙයක් දුන්නේ නැහැ," ජෝ හැඬුම්බරව කීවේය. "එයා මහා ඝෝෂාවක් කළා, මම එලියට දුවලා ආවා."

"හොඳ වැඩේ," අපහසුවෙන් හිම මතින් ගමන් කරමින් සිටි ආසී කීවාය. "ඔයාට ඒක ඇතුළට යන්න කිසිම වුවමනාවක් තිබුණේ නැහැ. මම කිව්වා මම තියලා ගිය තැන ඉන්න කියලා."

"ඉතින් මම නත්තල් සීයාව දැක්ක නිසානේ ඇතුලට ගියේ." කුඩා ජෝ කීවේය.

"හහ්! ඒ නත්තල් සීයා නෙමෙයි," ආසී පැහැදිලි කළාය. "ඒ නත්තල් සීයා වුණා නම් ඔයාට එහෙම සලකන්නේ නැහැ. මම එක සැරයක් කිව්වා වගේ ඕක සුදු මිනිස්සුන්ගේ චිත්‍රපටි ශාලාවක් විතරයි. ඒ හිටියේ නිකම්ම නිකම් වයසක සුදු මිනිහෙක් විතරයි."

"ආහ්..," ජෝ කීවේය.


(සිසිල සඟරාව නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)


Nissanka Rajapaksa

unread,
Aug 15, 2024, 8:35:40 PM8/15/24
to INDRAKA group
37
 'කිකිළි බිජුවක් තරම් ලෝකයේ ලොකු ම ලොකු වී ඇටයකි'

- ලියෝ තෝල්ස්තෝයි

පරිවර්තනය - තරිඳු ශ්‍රී ලොකුගමගේ  

(ඉරිදා 'මව්බිම' පුවත්පතේ කෙටිකතාව)








Nissanka Rajapaksa

unread,
Aug 16, 2024, 9:12:29 PM8/16/24
to INDRAKA group
38
දේශානුරාගය

1985 මාර්තු කල්පනා සඟරාවේ පළවූ ආර් කේ නාරායන් ගේ පරිවර්තන කෙටිකතාව

Nissanka Rajapaksa

unread,
Aug 17, 2024, 9:09:09 PM8/17/24
to INDRAKA group
39
සාරධාගේ මංගල්‍යය

- සයිමන් නවගත්තේගම

















Nissanka Rajapaksa

unread,
Aug 18, 2024, 11:14:58 PM8/18/24
to INDRAKA group
40
නම්බු පිස්සුව

T G W ද සිල්වා මහතා ලියු කෙටි කතාවක් 

(1996 පෙබරවාරි වත්මන සගරාවෙන්)






Nissanka Rajapaksa

unread,
Aug 19, 2024, 7:56:39 PM8/19/24
to INDRAKA group
41 - 1
ඔහුගේ කතාව 

- සයිමන් නවගත්තේගම














(Contd. in 41 - 2)


Nissanka Rajapaksa

unread,
Aug 19, 2024, 7:58:35 PM8/19/24
to INDRAKA group
41 - 2
ඔහුගේ කතාව 

- සයිමන් නවගත්තේගම

(Contd. from 41 - 1)













නිමි.

Nissanka Rajapaksa

unread,
Aug 20, 2024, 8:12:22 PM8/20/24
to INDRAKA group
42
මායම් 

- පවිත්‍රා අභයවර්ධන

යසෝ අට හමාරට ගෙදරට කතා කරලා, බළලව එළියට දාලා ගෙට ගන්න, දොරවල් වහන්න, ඉතුරු කෑම ‌ තියේ නං ෆ්‍රිජ් එකට දාන්න කියල සේනාධීරට මතක් කරල තියලා ආයෙ ආව ලූණු ලියන්න. 

“අප්පේ යසෝ ඇන්ටි ලූණු කපනව බලා ඉද්දි මගේ ඇඟත් හිරිවැටෙනවා.” එහෙම කිව්වේ එහා මේසෙ පලා තෝර තෝර හිටපු චාමිනි. යසෝ කපද්දි පිහිය උඩ පහළ යනව පේන්නැති ගාණයි. 

“අනේ දැන් කී කාලයක් කපලද දුවේ. පුරුද්දම තමා”

යසෝමා එහෙම ආවෙ චාමිනීලගෙ ආතාගේ දහ අවුරුද්දෙ දානෙ සල්ගල අසපුවට දෙන්න. භාවනා කරන හාමුදුරුවරුයි ගිහියොයි ඔක්කොම පනස් ගාණක්. ඒ හින්දා පවුලේ අයට අමතරව යසෝමා එහෙම වගේ ගමේ හිතවත් ගෑණු කීප දෙනෙකුත් එක්ක ආව. සඳුදා හීල් දානේ. ඉතිං කට්ටිය ඉරිදා හවස ඇවිත් නැවතුණා. උයන්න ඔක්කොම භාජන තියෙනවා. ලොකුවට කුස්සි හදලා තියෙනවා. බඩු ටික ගෙනත් උයන්න විතරයි තියෙන්නේ.

සඳුදා දවසක් හින්දා එනවට යසෝමාගේ මහත්තයා සේනාධීර නං කැමති උනේ නෑ. දුවගේ ඉස්කෝල ගමන පාඩු වෙනවා කියල.

දුව පැනපු ගමන් කිව්වා වාර විභාගෙන් පස්සෙ නිසා ඒ සතියේ ලකුණු දෙනවා ඇරෙන්න වෙන ලොකුවට වැඩක් කෙරෙන්නේ නෑ කියල. ඔය දුව සාමාන්‍ය පෙළ කරන කං, උසස් පෙළ කරනකං, රස්සාවක් කරනකං, බඳිනකං කියලා කල් දැම්මොත් කවදාවත් පිනක් කරගන්න හම්බවෙන්නේ නෑ.

ඔය දුවට පාඩු වෙනවට නෙවෙයි. තමන් නැතුව ගෙදර වැඩ ටික කරගන්න තියෙන බැරිකම කියල යසෝමා දන්නවා. ඉරිදා රෑටයි සඳුද උදේටයි දවල්ටයි මාලු පිණි හදලා දහ ගමනක් විතර මේ වේලට මේක, මේ වේලට මේක කියල මන්තරේ වගේ ජප කරලා ආවට ගියාම ඉඳීයි නිකං හත් අවුරුද්දක් හාමතේ හිටියා වගේ.

ආ‌යෙ ටෙලිෆෝන් එක වැදුණ විනාඩි පහ යද්දි.

යසෝමා “චුක්” ගාලා හැරුණා. ලූණු අතින් අල්ලන්නයැ. එළියට ගිහින් ආයෙ අත හෝදන් එන්න වෙනවා.

“අනේ මන්දා අපි නැති උනොත් මේ කට්ටියට කිසි දෙයක් කරගන්න බෑනෙ. මං කියන්නේ මං මැරිච්ච දාක ඉහ මුදුනේ පොල් තෙල් පාන පත්තු කරන්න පාන් තිර ඉල්ල ගන්නත් මාවම නැගිට්ටවල ගන්න වෙයි කියල. ඇයි තියන තැනක් දන්නවයැ කිසි දෙයක්. මොකක් හරි හොයාගන්න බැරිව ඔය ගන්නව ඇත්තේ ආයෙ.”

‘අනේ නං. මං නං අපේ ගෙදර තාත්තල පුතාලට කියල තියෙන්නේ මං මළාම මිනිය මල් ශාලාවේ තියන අතර උඹලා ගෙදර ඔක්කොම බඩු එළියට දාලා එක එක අරන් අහුරගනිල්ල කියල. නැත්තං කිසි එකෙක් දන්නේ නෑ බඩුවක් තියෙන තැන. අන්දයෝ වගේ. මොන බංගසාල දෙයක් උනත් හොයල දෙන්න මමම යන්න ඕන”

පැත්තක ඉඳන් තව එක්කෙනෙක් කතාවට හවුල් උනා.

“අපෙත් ඔහොම්මමයි. ගිය සතියේ පෙරහැර ගැන කතා කරන්න ලොකු හාමුදුරුවෝ වැඩම කරලා මං ගෙදර නැති වෙලේ. පීරිසි කෝප්ප හොයාගන්න බැරි උනා කියල වීදුරුවක ගිලන් පස පූජා කරලනේ.”

ගෑණු ටික එක පොකුරට හිනා උනා.

යසෝමා අත පිහිදාගෙන ගිහින් බලද්දි සේනාධීර නෙවෙයි, නංගිගෙ මහත්තයා පියසිරි අරන් තියෙන්නේ.

පියසිරි ලේසියකට කතාකරන්නේ නෑ, නංගි විනීතා ගත්තොත් මිසක්. ඒ හින්දා යසෝමා “මල්ලි කියන්න” කිව්වේ හිතේ බයකුත් මෝදු වෙද්දි.

“අක්කා ගෙදර නෙවෙයිද ඉන්නේ?” පියසිරිට ඇහෙන්න ඇති හිනාවයි කතාවයි. ඇයි ඉතින් යසෝත් සෙනඟ පැත්තටම ගිහින් කතා කළේ. කවුද අකමැති සබයක් මැද්දෙ ඉද්දි තමන්ට නිතර කවුරු කවුරු හරි කතා කරනව කියල පෙන්නන්න.

“අනේ නෑ මල්ලියෙ, අපි සල්ගල ආවනේ දානයක් දෙන්න. ඇයි නංගිට මං කිව්වනෙ කතා කරල”

“ආ එහෙමද අක්කේ. නෑ මේ විනීතාට උණ හැදිල. මට හෙට නොයාම බෑ වැඩට, අක්ක ගෙදර නං පොඩ්ඩක් ඇවිත් ඉන්න කියන්න බැලුවේ”

“අප්පේ මොකද හදිසියේ නංගිට”

“අනේ මන්දා. සිකුරාදා රෑ ඉඳලා උණ. තදට උණක් නෑ, ඒ උනාට ඔලුව උස්සන්න බෑ කියල ඇදේමයි.”

ඒ කතාවට යසෝමාට බය හිතුණ. මොකද විනීතා උණ නෙවෙයි මොන සන්නිපාතෙ හැදුණත් ඇඳට වෙලා ඉන්න ගෑණියෙක් නෙවෙයි. කෙඳිරි ගගා හරි වැඩ ටික කරනවා.

“අනේ මල්ලියෙ පෙසර් එහෙම බැලුවද?”

“ඔව් ඒක නං වැඩි නෑ. ඔය උණේ හැටි කියල දොස්තරත් කිව්වේ ටිකක් විවේක ගත්තම අඩුවෙයි කියල. මෙයා නං එපාම කිව්ව අක්කට කරදර කරන්න, මං මේ නින්ද යනකං ඉඳලා ගත්තේ. බලමුකො එහෙනං මං වරුවෙන් වත් එන්න බලන්නං”

“අනේ ඔව් මල්ලියෙ. එහෙම වත් කරන්න. අපිත් හෙට එද්දි දවල් වෙයි”

යසෝමාට දානෙ වැඩපළ සිහියෙන් කරන්නත් බැරි උනා ඊට පස්සේ. නංගිට මොකෝ කියල හිතේ ගින්දර. ඇයි ගෙදර ඉන්න කාලෙ ගෙදර කාණ්ඩෙටම උණ හැදුණත් බැරි බැරි ගාතෙ හරි නැගිටගෙන ගිහින් කොත්තමල්ලි වත් ලිපේ තියන්නේ විනීතා. ඇඟපතත් යසෝමා වගේ හීන්දෑරි නෑනෙ. හොඳ උස මහතයි. ඉස්සර අම්මා බනිද්දි කියන්නෙත් “මේක අලි දෙන වගේ ඉන්නවා” කියල.

නංගිට ඉහෙන් බහින ලෙඩක් හැදුණ කාලයක් වත් යසෝමාට මතක නෑ. මැසිම වගේ ළමයි තුන්දෙනාගේ වැඩයි පියසිරිගෙ වැඩයි කරනවා. වත්ත කොටනවා, පාත්ති දානවා, බුලත් විට හදලා ළඟ කඩවල්වලට දානවා. කොණ්ඩ කැවුම්, මුං කැවුම් ඕඩර් ගන්නවා. මොහොතක් නිකං ඉන්නේ නෑ.

යසෝ හිතෙන් බාරෙකුත් උනා නවගමුවට. ලොකු දේකට නෙවෙයි නෙළුම් මල් වට්ටියකට. අමාරු දෙයක් නෙවෙයි නෙ. ඔය යන එන ගමං බස් එකෙන් බැහැල පූජා කරලා යන එකනෙ. 

-----------------------
ඊළඟ දවසේ එකොළහ වෙද්දි යසෝ බැස්ස නංගිලගෙ ගෙදරට යන හන්දියෙන්. දුවව කෙළින්ම ගෙදර යැව්ව වෑන් එකේම. හදිස්සිය හින්දම ඔය අඩි දෙක උනත් පයින් නොයා වීල් එකකුත් කතා කරගෙන, ඒකෙනුත් බෙල්ල එළියට දාගෙන ගියේ පපුවත් ගැහෙද්දි.

මෙන්න ලෙඩා නාල කොණ්ඩෙත් කඩාගෙන, කොට ගවුමකුත් ඇඳගෙන මිදුල අතුගානව.

“යකෝ, මං ගිනි ගැනිල ආවෙ සල්ගල ඉඳන් ඉස්පිරිතාලෙවත් ඇරන් ගිහින්ද දන්නෑ කියල. මොකද උනේ”

“මේ නිකං උණක්”

“නිකං උණට නං දවස් දෙකක් තිස්සේ ඔලුව උස්සන්න බැරි වෙනවද බං. අර මල්ලි කතා කරා, මට අර බාර ගත්තු වැඩේ දාල එන්න බැරිකම මිසක් එවලෙ එන්න හිතිලා හිටියේ”

“අනේ සිරී අක්කටත් කතා කරාද?” බලන්න එපැයි හිනාව.

“කතා කරා නේන්නං. තනියට ඉන්න කියන්න’'

“මං කිව්වත් ඒත් කරදර කරන්න එපා කියල. මට හොරෙං ගන්න ඇති එහෙනං” හිනාව මැකෙන්නේ නෑ මූණෙං. ඉස්සර අර පියසිරි දවසට දෙවේලක් ගෙදර ඉස්සරහින් යන කාලෙ වගේ.

“උඹේ හිනාව නං අල්ලන්නෑ මට. මොකක් හරි පිම්මක් පැනල වගේ. මොකෝ?”

ඒ පාර විනීතා දෙකට නැමි නැමී හිනාවෙන්න පටන් ගත්තා.

“අක්කට නං දිවැස් තියෙනව. යං කො ගෙට. අලුව හදල තියෙනවා”

“අප්පද බොල. අලුවත් හැදුව කියන්නේ ලේසි නෑ. ඇයි අද පියසිරිට නත්තල් බෝනස් ද කන්තෝරුවෙ?”

“නෑ අප්ප. නිකං”

ගෙදර ගෑණි දවස් දෙකක් ලෙඩින් වැටිල කියල පේන පාටක් වත් නෑනෙ. ගෙදරත් කණ්ණාඩිය වගේ. වෙනදටත් වඩා පිළිවෙළයි. බිම තියල තිබුණ මගුල් පින්තූරයි, ළමයින්ගේ පොඩි කාලෙ පින්තූරයි බිත්තියෙ එක උසට ගහලා. හෝටලයක් වගේ.

ලටපට පුරවල තිබුණ කැබිනට් එකේ තට්ටු ටික හොඳට අස් කරලා.

“අදද මේ අස් කරේ?” යසෝ ඇහුවේ කලින් සතියේ එද්දි මෙහෙම තිබුණේ නැති නිසා.

“නෑ සිරී පුතාලත් අල්ලගෙන අස් කරා.” 

යසෝ ඒ පාර නගා දිහා බැලුව හොඳට. වෙනදට පියසිරි ගෙදර ඉන්න දවස් දෙකෙත් පත්තර බලනවයි, මැච් බලනවයි, වැඩක් කරගන්න නොවඳිනා වැඳුම් වඳින්න ඕන කියල නංගි ආඩපාලි කියන්නෙ.

ඒ විනාඩියට විනීතා අලුවයි කෙසෙලුයි පීරිසියක තියල ළං කරලා වතුරත් ලිප තියල ඉවරයි.

දවල්ටත් උයල ඉවරයි වගේ ලිප ළඟ වළං ටික වහල තියෙනවා.

“කියපං ඉතිං මොකද උනේ කියල”

විනීත ඇවිත් වාඩි උනා පිඟානකුත් අරගෙන. “දැන් උදේට කන්නේ” කියාගෙන. දවස් දෙකක් ගෙටම වෙලා හිටපු නිසාද මන්ද විනීතාගෙ මූණත් එළිය වෙලා. ලෙඩ පාටක් ගෑවිලා වත් නෑ.

“නෑ දැන් මාස දෙහෙකට කලින් වගේ මට උණ ගත්තනේ පොඩි පුතාගෙන් බෝ වෙලා. එදා ඇඟපත කකියනවා ඉන්න හිටින්න බෑ. වදෙන් පොරෙන් නැගිටගෙන පාන් හදල දීලා කට්ටියව යවල ඇඳට වැටුණා. දැන් දවල් ආවම කන්න දෙයක් නෑනෙ කියල උණ අඩු වෙන සැරේට යන්තං කුස්සියට ඇවිත් බතක් උයල මාළු දෙකක් යන්තං හදාගත්ත. එදා සිරී හවස ආවම මං කිව්ව “අද මට හරි අමාරු උනා. ඇඟ පත කඩලා දාලා වගේ රිදෙනවා” කියල. ගත් කටටම කිව්වනෙ “එච්චර අමාරුවක් තියෙන්න නැතුව ඇති, එච්චර අමාරු උනානං මාලු දෙකකුත් බතුයි හදන්නේ කොහොමද” කියල”

“ඕං කරලත් අහගෙන තියෙන ටික”

“අක්කට කියන්නෙ මට ඇඬුණා. ඔච්චර කරල අහගත්තු ටික කියල. හැබැයි මං ඕක ඔලුවෙ තියාගෙන හිටියේ. මේ සිකුරාදා මට හරි ඇඟට කෙඩෙත්තුයි වගේ. ළමයිට සති අන්තෙ පන්තිත් නෑ. කලින් දවසෙ පොළොස් ඇඹුලකුයි මාලු හට්ටියකුයි හදල තිබුණ. ළඟ කඩෙන් පාන් රාත්තල් දෙකයි බනිසුයි ගෙනාව. දවස් දෙක ඕව හරි කාල ඉන්නැතෑ කියල මට උණ කියල මං බුදිය ගත්තා. ඇහැක් ඇරලා බැලුවේ නෑ”

“උඹ තමා දවසකටවත් ගෑණි හැබෑට. ඉතිං මොකෝ උනේ?”

“මොනව වෙන්නද? සිරී ඇවිත් ළමයින්ට බිත්තර කිරි හොද්දක් හදලා පාන් දුන්න. මට ඇඹුලට මොනව හරි කෑවොත් හොඳයි නේද අහල හන්දියේ කඩෙන් තක්කලි හොදියි රෝස් පානුයි ගෙනත් දුන්න”

“පියසිරිට උයන්න පුලුවන්ද බං. බිත්තරයක් වත් තම්බගන්න බෑ කියල නේද උඹ කිය කිය හිටියේ”

“ඒකනෙ අක්කේ. ෆෝන් එකෙන් බලලද මන්ද. මං කන්න ගිය ගමන් ටිකක් කට ගාල බැලුව, ටිකක් දිය රහ උනාට හොද ගාණට ලුණු මිරිස් එහෙම”

“දවස් දෙකම ඔහොමද?”

“ඊළඟ දවසේ දවල්ට කඩෙන් ගෙනාව. උදේට බනිස්. අම්මට කරදර කරන්න එපා, මහන්සිය වැඩි වෙලා මයි අම්මට ලෙඩ වෙන්න ඇත්තේ කියල සිරී ළමයිට එක එක වැඩ පවරලා ගේම අස් කරානෙ. ලොරියකට විතර බඩු ගෙනිහින් දැම්මා පාරට කුණු ලොරියට පටවන්න. ඉරිදා එයාලගෙ අම්මා ආව පාන්දරම උයාගෙන. එදා වත්ත ඉස්සරහ ටික ඔක්කොම සුද්ද කරා. ඩෙංගුද දන්නෙත් නෑ, මදුරුවොත් ඉන්නව කියල. රෑට ආයම මස් බතක්ද මොකද්ද හැදුවේ. ළමයි ආයෙ පෙරළගෙන කෑවෙ”

“උඹ ඉතින් හිතෙන් හිනා වෙවී ඉන්න ඇති නේද?”

“හිනත් ගියා. පව් කියල ඔන්නොහෙ නැගිටිනවද කියලත් හිතුණ. ඒ උනාට එහෙනං ආයෙත් පරණ සෙතේමයි. අනික අක්කේ මේ ටිකේ වැඩ ඉවරයක් නෑ, මටත් හරි මහන්සියෙන් හිටියේ. බලන්න එපැයි සිරී පැයෙන් පැය ඇවිත් මගේ උණ බලනව. කට අප්පිරියාවට සැරින් සැරේ කන්න කියල මිදියි 
මුද්දරස්පලනුයිත් ගෙනත් දුන්න.”

ඒක කියද්දි නං ගෑණිගෙ ඇස් දෙකත් නිකම් ලාවට තෙත් වෙනව වගේ යසෝ දැක්ක.

“කමක් නෑ දැන් ලෙඩක් නෑනෙ. මං එහෙනං යන්නං. එහෙ දැන් පිස්සං කොටුව වගේ වෙන්න ඇති. පත්තර ටික බැලුවොත් එතන, සරම ගැලෙව්වොත් එතන. මං යන්න එපැයි පස්සෙන්”

“නෑ අක්කෙ. අපි කරද්දියි ඔය නොකරන්නේ. අනික අපි කරන කරන එකෙත් ඇදමනේ හොයන්නේ. ඔන්න මාත් බැරි අමාරුවෙන් හරි නැගිටල වැඩ කරා නං පහුණු දවස් දෙකේ, ඇගේ අමාරුවට එක්ක සිරී කරන ඒවත් ඇදට පේන්නෙ. මං නැගිටගෙන ඉන්න හින්ද එයත් මටම වැඩ ටික දීලා, කියන දෙයක් විතරක් කරලා ඉන්නව. අන්තිමට දෙන්නගෙම හිත නරක් වෙලා. දැන් එයාට කරන්න උනාම ඔය අපූරුවට කළේ. අනික මට බැරි වෙලේ සාත්තු කරා කියල සිරීටත් හරි සන්තෝසයි. කීප සැයක් කිව්ව මට මහන්සි වැඩි නිසාම වෙන්න ඇති ලෙඩ උනේ කියල. මං ඒ පාර කිව්ව සති අන්තෙ ඔය වගේ ගෙවල් මිදුල් ටිකවත් ළමයි එක්ක අස්කරල දුන්නොත් ලොකු දෙයක් කියල. ඔය බැරි කම නෙවෙයි අක්කේ. අපිම කරන්න ගිහින් ලේසියට එයාලත් අපිටම දීලා ඉන්නව. අනික මේ වගේ වැඩද අප්පා ඔය කන්තෝරුවල ගිහින් කරන්නේ. මිනිස්සු බර ගානක් පාලනය කරනවනෙ. ඒව බලද්දි මේ හුණ්ඩුවක් වගේ ගෙදරක තියෙන වැඩ මොනවද?..”

“ඒකත් ඇත්ත. එහෙනං මං යනවා. ගෙදර ගිහින් මාත් දානෙ උයන්න ගිහින් අතවත් ඇදිලා කියන්නද කියල මේ කල්පනා කරේ”

අක්ක නගෝ හිනා උනා උළු උඩ යන්න.

“කියල බලන්ඩකො. පුදුම සැළකිල්ලක් තියෙන්නේ”

“වැඩ ඉවර කරලා පේවෙලා හිටපං. අද වරුවෙන් එනවා කිව්වා නේද?” 

යසෝ නංගිගෙ පස්සටත් පාරක් ගහලා එළියට බැස්සා. 
ගේ වත්ත පිටිය වෙනදටත්ත්‍ වඩා කළ එළියට යයෝට එදා පෙනුණා.


Nissanka Rajapaksa

unread,
Aug 21, 2024, 9:30:36 PM8/21/24
to INDRAKA group
43
අමුත්තා

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

(සිසිල සඟරාව- මාර්තු 2024 කලාපය)

ඔහුගෙන් දිස් වූයේ අමුතු පෙනුමකි. ඔහු පැළඳ සිටි අළු පැහැති ෆෙල්ට් තොප්පිය යටින් මුවේ දිස් වූ සැකයෙන් බර මඳ සිනාව මා තුළ අවිනිශ්චිත බවක් ඇති කළේ ය. පැහැදිලි හේතුවක් නැතිවම, මා නිසා ඔහු අපහසුතාවයට පත් ව ඇතැයි මට සිතුණි. ඔහු බොහෝ වෙලාවක් නිහඬ ව සිටි අතර ඒ නිසාම මට ඔහු ගැන බියක් දැනෙන්නට විය.

එක්වර ම, සමාව අයදින හඬකින් ඔහු මෙසේ ඇසුවේ ය.

“මේ ග්ලැඩිස් නෝනාගේ පුතා ද?”

ඔහු වෙතින් දැනුණේ රම් සහ දත් බෙහෙත් සුවඳකි. මම හිස වනා ඔව් කී විට ඔහු අයාගත් මුවින් යුතුවම මා දෙස බලා සිටින්නට විය. ඔහුගේ තෙත් දෑසින් කුතුහලයද, තරමක දුකක් ද දිස් විය.

“අම්මාට කතා කරන්න ද?” මම ඇසුවෙමි.

“මොකක්ද?” ඔහු ඇසුවේ මට ප්‍රශ්නයක් ඇසීමට හැකිවීම ගැන පුදුම වූ සෙයිනි. නො එසේ නම් ඒ පුදුමය මා ඔහුගෙන් පෙරළා පැණයක් ඇසීම නිසා විය හැක. ඔහු අපහසුවෙන් කෙළ ගිල, තවත් කුතුහලයෙන් මා දෙස බලා හිඳ, මෙලෙස මිමිණුවේ ය.

“කතා කරන්න? ඔව් ඔව්, අම්මාට කතා කරන්න.”

‘මහා අමුතු මිනිහෙක්’ යැයි සිතමින් දොර අසලට ගොස් මම අම්මාට අඬගැසුවෙමි.

“අම්මා”

“මොකද?”

“කවුද මිනිහෙක් ඇවිත් අම්මාව හම්බවෙන්න”

“මිනිහෙක්? ඒ කවුද?”

“දන්නේ නැහැ. මම එයාව කවදාවත් දැකලා නැහැ”

ඇය නැගිට ගොස් ජනේලයෙන් එබී බැලුවාය. මේ වෙද්දී අමුත්තා කවුදැයි දැනගැනීමට කුතුහලයෙන් පසු වූ මම ඈ දෙස හොඳින් බලා සිටියෙමි. අම්මා නිසොල්මන්ව ජනේලයෙන් පිටත බලාගත්වනම සිටි අතර ඇය දුටු දසුනින් ගල් ගැසුණු බවක් පෙනුණි. ඈ අසලට ඇවිද ගිය මට ඇගේ මුහුණ දුටු විට තරමක කම්පනයක් දැනුණි.

“මොකද අම්මා?”

ඈ පිළිතුරු දුන්නේ නැත. මෙතැන යම් බරපතල දෙයක් සිදු ව ඇති බව මට වැටහිණි. අම්මා කිසියම් අවස්ථාවකට මුහුණ දෙනු නොහැකිව අපහසුතාවයට පත් වනු මා ඒ වන තුරු කිසි දා දැක තිබුණේ නැත.

“අම්මා?”

“ගිහින් ඒ මිනිහට කියපන් මම නැහැ කියලා… කෝ ඉතින් පලයන්… එක්කෝ එපා, පොඩ්ඩක් හිටපන්… ගිහින් කියපන් මම එනවා කියලා..”

ඒ අමුත්තා කවුරුන් වුවත් ඔහුගෙන් අපට තර්ජනයක් බව මට ඉවෙන් මෙන් වැටහුණු බැවින් මට ඔහු කෙරේ බියක් ඇති විය. එහෙත් මා නැවතත් ආලින්දයට ගිය විට ඔහුගේ පෙනුම මා තුළ වූ සැකය අඩු කරවීය. ඔහුගෙන් දිස් වූයේ අවිනිශ්චිත, දුරස්ථ බවකි. ඔහු අප ගැන බියෙන් පසුවේ ය යන විකාර රූපී සිතිවිල්ල පවා මොහොතකට මගේ සිතේ ඇඳී ගියේ ය. මින් මගේ ළමා අභිමානය තීව්‍ර විය.

“අම්මා එනවා කිව්වා.” මම ඔහුට කීවෙමි.

ඔහු පහත් හඬින් මට ස්තූති කළේය. අම්මා දොරින් පිටතට විත් නැවතී ඔහු දෙස බලාගත්වනම සිටින්නට විය. ඔහු ඈ වෙත ඇවිද විත් යාර කීපයක් දුරින් නැවතුණේ ය. ඔවුන් අතර නිහඬ බවේ කුමන්ත්‍රණයක් රජයන බව පෙනුණි. මේ වෙද්දී මේ සිදුවන්නේ කුමක්ද යන කුතුහලයෙන් ඔවුන් දෙස බලා සිටි බැවින් මේ කුමන්ත්‍රණයට මා ද ඈඳී තිබිණි. මුලින්ම නිහඬ බව බින්දේ ඔහු ය.

“කොහොමද ග්ලැඩිස්? මාව දැකලා ලොකු පුදුමයක් දැනුණේ නැතිව ඇති කියලා හිතනවා.”

“ඔහේ කොහොමද මම ඉන්න තැන හොයාගත්තේ?” ඇගේ කටහඬ වුවමනාවටත් වඩා හික්මුණු බවක් දැනුණු නමුත් එහි ඉතා සියුම් තර්ජනාත්මක බවක් ද ගැබ් ව තිබිණි.

“ආ… මම මේ ටවුම හරහා යමින් හිටියේ. අර චීන මනුස්සයාගේ කඩෙන් මම ඇහුවා ඔයාව දන්නවාද කියලා, එයාලා පර කිව්වා…”

තවත් දිගු නිහැඬියාවකින් අනතුරුව ඔහුට නිවස තුළට පැමිණෙන ලෙස ඇය සන් කළා ය. ඊළඟ විනාඩි පහළව පුරාවට නිවසේ දොර අඩවන් ව පැවතුණු අතර මම ඒ දෙස බලාගත්වනම සිටියෙමි. ඉනික්බිති අම්මා මට හඬගසනු ඇසුණි. අමුත්තා සම්බන්ධ මේ අභිරහස විසඳා ගැනීමට වෙලාව එළැඹ ඇතැයි යන සිතුවිල්ලෙන් මගේ සිත ප්‍රබෝධමත් විය. මා වහා වහා කමිසය කලිසමට යටකරන්නට ගත්තේ ඔහුට වැඩි සැලකිල්ලක් දක්වනු පිණිසයි. අම්මා නොඉවසුම් හඬින් දෙවෙනි වර හඬ ගැසූ විට මම නිවස තුළට දිව ගියෙමි.

ඔහු අසුන්ගෙන සිටියේ අප සතුව තිබුණු එකම පුටුවේ ය. ඇය ඇඳේ කෙළවරක වාඩිවී සිටියාය. දෙදෙනාම මා ඇතුළු වූ විට මා දෙස බැලූහ. ඔහුගේ දෑස මඟ හැර මා අම්මාගේ දෑස දෙස බැලුවේ සරණක් පතමිනි. තවත් දිගු නිහැඬියාවකින් පසු අම්මා දෙගිඩියාවෙන් මෙන් ඔහු වෙත අත දිගු කර, “මේ ඔයාගේ තාත්තා,” කීවාය.

මට තරමක පුදුමයක් දැනුණු නමුත් කම්පනයක් දැනුණේ නැත. සමහරවිට මට වඩාත්ම දැනෙන්නට ඇත්තේ අවුල්සහගත බවකි. තාත්තා කොහේ හෝ කිසියම් අකාරයකට ජීවත් වන බවක් මම දැන සිටියෙමි. නමුත් ඔහු ගැන මගේ හිතේ ඇඳී තිබුණේ අපැහැදිලි රූපයකි. මට ඔහු මා විසින් මවාගන්නා ලද මගේම ජන කතාවක චරිතයක් මෙන් විය. තාත්තා ගැන මා බොහෝ විට සිහින මවා තිබුණත්, මිල අධික සුරතල් මසුන් හිමි කරගැනීමට දරුවෙකු දකිනා සිහිනයක් මෙන් මා ඊට වැඩි වැදගත්කමක් දී තිබුණේ නැත. ඔහු මෙලෙස මා ඉදිරියේ සිටිනු දැකීම මා හට ‘හම්ටි ඩම්ටි’ ව ජීවමානව දුටු කලෙක මෙන් පුදුමසහගත දෙයක් විය. මා කුමක් කිව යුතුද? මා කියනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? මා තාත්තා දෙස බලනු ඇතැයි අපේක්ෂිත බවක් හැඟුණු බැවින් මම ඔහු දෙස බැලුවෙමි.

ඔහුගේ නළල රැළි වැටී තිබුණු අතර දෙකොපුල රළු ව දිස් විය. ඔහු දිනපතා රැවුල බානු ඇතැයි මා උපකල්පනය කළේ තමන්ගේ පියවරු එලෙස කරන බවට මගේ මිතුරන් පවසා තිබුණු බැවිනි. අම්මාට දිනපතාම රැවුල බාන්නට සිදුවුණි නම් එය මහත් සේ විසුළු සහගත කරුණක් වනු ඇති බව මට සිතුණේ මේ අදහසේ මෝඩ බව නොදැන නොවේ.

ඔහු යමක් අනුමත කරන්නා සේ හිස සලා මා දෙස බලාගත්වනම සිටියේ ය.

ඔහු “උඹ හොඳ අපූරු ළමයෙක්,” යැයි කී විට ඔහු ඉන් අදහස් කළේ කුමක්දැයි මම කල්පනා කළෙමි. ඉනික්බිති ඔහු අම්මා දෙස බලා “මෙයා හොඳ අපූරු ළමයෙක්” යැයි නැවත කීවේ අවිනිශ්චිත, දුර්වල හඬකිනි.

අම්මා ඊට පිළිතුරු ලෙස යමක් මුමුණා මා දෙස බැලුවාය. යමෙකු මා ගැන මෙලෙස ප්‍රශංසාමුඛයෙන් කතා කළ විට ඇගේ දෙනෙතේ වෙනදාට නැගෙන දිස්නය ඒ වෙලාවේ දක්නට තිබුණේ නැත. ඒ වෙනුවට එහි තිබුණේ දොස් දකින බැල්මකි. එහි කෝපයක සේයාවක් ද තිබුණු අතර ඈ මේ ලෙස ප්‍රතිචාර දක්වන්නේ ඇයිද යන වග සිතාගැනීමට මා අපොහොසත් විය. අම්මා මා වෙතින් දෑස් ඉවත් කරගනිද්දී හිස පහතට නැඹුරු කරගත් අතර මා ඈ ගැන හොඳින් නොදැන සිටියා නම් ඇගේ දෑසේ දිස් වූයේ නින්දාවක් විඳි බවක් යැයි මා සිතනු ඇත. ඉනික්බිති ඈ ඇගේ වැලමිට දණ මත රඳවා, අත්ල මත නිකට රුවාගෙන සුසුමක් හෙලුවේ නිරතුරුවම ඇගේ මුවෙහි සඳහන් ‘දෙවියනේ, මේ මොන ජීවිතයක්ද!” යන වැකිය නිහඬව කියාපාන්නට මෙනි.

මේ සිදුවන්නේ කුමක්දැයි මම දිගින් දිගටම කල්පනා කළෙමි. වැඩිහිටියන් අමුතු ලෙස හැසිරෙනු මා මීට පෙර නිරීක්ෂණය කර ඇතත්, මගේ නොදැනුවත්කමට ඔබ්බෙන් හැමවිටම කුඩා හෝ තේරුමක්, අවබෝධයක් ඔවුන්ගේ හැසිරීමේ දක්නට තිබිණි. නමුත් මගේ අම්මාගේත් මේ අමුත්තාගේත් හැසිරීම මා සම්පූර්ණයෙන් ම අන්දුන් කුන්දුන් කරවීමට සමත් විය. ඔවුන් කිසිවක් නොකීවේ ඇයි? ඔවුහු එකිනෙකාට වෛර කළෝ ද? ඔහු මගේ පියා වීම ඇයට මෙතරම් වැදගත් වී ද?

ඔහු පැමිණ සිටියේ අම්මා මා වෙතින් ඉවතට ගෙන යෑමටය යන බිය එක් වරම මා වෙලා ගත්තේ ය. මේ ගැන මට කියන්නේ කෙලෙසදැයි ඔවුන් කල්පනා කරමින්, තැවෙමින් සිටිනවා විය යුතුයි. අම්මා මාව තනිකර දමා යනවා ඇත. ඒ තත්පරයේදී අම්මා සමඟ මගේ ඇති බැඳීම, මගේ ජීවිතයේ ඈ සිටීමේ වැදගත්කම මට මනාව වැටහිණි. මා ඇයට ආදරය කළේ වත් වෛර කළේ වත් නැත. ඈ නිතර කෘර ලෙස මට පහර දුන් බැවින් මම ඇයට තරමක් බියෙන් පසුවුනෙමි. නමුත් එවන් අවස්ථාවල මා කඳුළු සලමින් පිටකළ කෝපය, මට දැනුණු වේදනාවට දැක්වූ ඍජු ප්‍රතිචාරයක් විය. මේ පහර දීම් මට වඩා ඇයට වැදගත් බව මට ඒ වෙද්දී කෙසේ හෝ වැටහී තිබිණි. මේ ලෝකය දරුණු තැනක් බව ඈ මට නිතර කීවා ය. මා ඇගේ දරුවා බැවින් සම්පූර්ණයෙන් ම ඇගේ අණසක ට යටත් විය යුතු බව සාමාන්‍ය දෙයක් විය. මේ කෙසේ වෙතත් අප අතර දැඩි බැඳීමක්ද තිබිණි. ඇත්තටම එහි වූයේ අප දෙදෙනාට එකිනෙකා අහිමි වුවහොත් හැම දෙයක්ම අහිමි වේ යන බිය මිසක් වෙනත් සුන්දර සිතිවිල්ලක් නොවේ. මා ‘අම්මා’ කියා හඬ ගැසුවේ ඇයටයි. ඈ මට ආහාර, ඇඳුම් පැළඳුම් සහ පාසල් පොත් ලබා දුන්නාය. ඈ මට හොඳින් හැසිරෙන අයුරු ද කියා දුන් නමුත් ‘හොඳ’ යන්නෙන් ඈ අදහස් කළේ කුමක්දැයි කිසිවිටෙක පැහැදිලි වූයේ නැත. බොහෝ විට ඉන් අදහස් වූයේ ඈ වෙත හොඳින් හැසිරීමයි. නොඑසේ නම් කෘතඥ වීමයි. මේ දෙක බොහෝ විට සමාන ලෙස ගැනුණි. ඈ ඇගේම ක්‍රමයකට මා වෙත උණුහුම පෑ බව කිව හැක. නමුත් නොදැනුවත්වම මෙන් ඈ මට බරපතල අපේක්ෂාවන් රහිතව දිවි ගෙවීමට උගන්වා තිබුණු අතර මේ නිසා මගේ ඉල්ලීම් ඉතා අල්ප විය. මට අවශ්‍ය වූයේ ඈ මා වෙනුවෙන් සිටීම- හැමදාම එලෙසම සිටීම පමණි. දැන් ඊට ද තර්ජනයක් එල්ල වී තිබිණි.

අම්මා මා වෙතින් නික්මීම සිදුවිය හැකි දෙයක් නොවන බවත්, එය මගේ මෝඩ සිතිවිල්ලක් බවත් සිතා මම සිත සනසාගන්නට උත්සාහ කළෙමි. ඒ සමඟම මා මෙතැනින් පිටව ගියොත් හොඳ බව මට සිතෙන්නට විය. සමහරවිට ඔවුන්ට යම් වැඩිහිටි කතාබහක් කරන්නට අවශ්‍යව තිබෙන්නට ඇත. මා දොර වෙතට ක්‍රම ක්‍රමයෙන් ඇදී යන්නට තැත් දරද්දී ඔහු “ඔව් ග්ලැඩිස්, ඇත්තටම සෑහෙන්න කාලයක් ගතවුණා” කී අතර ඔහු කීප වතාවක්ම එය කියා තිබෙන්නට ඇතැයි මට හැඟිණි. ඔවුන් අතර ඇති මේ අපහසුතාවයට හේතුව මා ම විය යුතු බව එවෙලේ තීරණය කළ බැවින් මම මගේ අරමුණ නොසඟවා ම කාමරයෙන් පිටතට යාමට උත්සුක වුණෙමි. එකවරම අම්මා මගේ නම හඬ නඟා කියනු මට ඇසුණි. ඇගේ කටහඬේ තියුණු, දැඩි බවක් විය. මට කාමරයෙන් ඉවත් නොවන්නැයි වදනින් කීම වෙනුවට ඒ හඬේ තානය ප්‍රමාණවත් විය.

අමුත්තා ප්‍රශ්නාර්ථයකින් යුතුව මා දෙස බලා, නැවතත් අම්මා දෙස බලා එකවරම අසුනෙන් නැගිට්ටේය. තමන්ටද මෙතැනින් පිටව යාමට අවශ්‍ය බව පෙන්වූවත් ඔහු තව මඳක් තාවර විය. හදිසියේම ඔහුට යමක් සිහි වූ බවක් පෙනුණි. ඔහු තම සාක්කුවෙන් සිලිං පහක නෝට්ටුවක් ගෙන මා අත තැබුවේය.

“මේකෙන් ඔයාට තෑග්ගක් ගන්න” ඔහු කීවේ ය.

මා තරමක කම්පනයෙන් මුදල් නෝට්ටුව දෙස බලා සිටියෙමි. එය විශාල මුදලක් වීමත්, ඔහු වැන්නකුගෙන් මා එය ලැබීමත් මා පුදුමයට පත් කළේ ය. මේ ගැන අම්මාගේ ප්‍රතිචාරය දැනගැනීමට මම ඈ දෙස බැලුවෙමි.

“ඕක ආපහු දීපන්,” යැයි ඈ කී විට මා පුදුම වූයේ නැත. “ඔහේගේ උදව්වක් නැතිව මම මේ තරම් කල් කොල්ලාව උස් මහත් කළා. දැන් මුකුත් උදව් උවමනා නැහැ.”

මා වහා වහා මුදල් නෝට්ටුව ඔහු වෙත පෑවේ මේ අම්මා ව තවත් කේන්ති ගැන්විය යුතු වෙලාවක් නොවන බව ඉවෙන් මෙන් වටහාගෙනයි. ඔහු ගිය පසු මා ඈ සමඟ තනිවන මොහොත ගැන සිතද්දී මට දැනුණේ බියකි.

අමුත්තා මුදල ප්‍රතික්ෂේප කරන්නට පටන් ගත්තත්, හදිසියේ කතාව නවතා මා වෙතින් මුදල් නෝට්ටුව ගත්තේය. ඔහු කෙරෙන් දිස් වූයේ අපහාස ලැබූ අයෙකුගේ පෙනුමක් සහ දුක්මුසු බවක් වූ බැවින් මට ඔහු ගැන අනුකම්පාවක් ඇතිවෙමින් තිබිණි. ඔහු තමන්ගේ කුඩා ෆෙල්ට් තොප්පිය හිස ලාගෙන වදනකුදු නොකියා යන්නට ගියේ ය. මා ඉන්පසු කිසි දවසක ඔහු ව දුටුවේ නැත.


Nissanka Rajapaksa

unread,
Aug 22, 2024, 7:39:22 PM8/22/24
to INDRAKA group
44
'සොල්දාදුවාගේ පුතා'

චිංගිස් අයිත්මාතොව්

පරිවර්තනය දැදිගම වී. රුද්‍රිගු

(ඉරිදා 'මව්බිම') 







Nissanka Rajapaksa

unread,
Aug 23, 2024, 8:51:49 PM8/23/24
to INDRAKA group
45
හස්ති 

- පවිත්‍රා අභයවර්ධන

මගේ ප්‍රධානියා වූ කුලබණ්ඩාර මහතාගේ සමුගැනීමේ සාදය අවසන් වී කලබලය මඳක් සන්සිදෙන තුරු මම පසෙකට වී සිටියෙමි. විශිෂ්ඨ නිලධාරියකු මතු නොව ඉතා හෘදයාගම මනුෂ්‍යයෙකුද වූ ඔහුගේ අවසන් සේවා දිනයේදී ඔහු හමුවී සුභ පතන්නට බොහෝ දෙනා රටේ විවිධ පළාත්වල ඇති කාර්යාලවලින් පැමිණ ඇති බැවින් අද දිනය ගෙවුණේ බොහෝ කලබලකාරී ලෙසය.

“අපරාදේ වීරෙ, බොස්ට ඉතුරු අවුරුදු තුනත් වැඩ කරන්න තිබුණා කියලා මම කිව්වේ” යි පැවසුවේ මා අසලට පැමිණ දකුණු පළාත් භාර අධ්‍යක්ෂකය. “බොස්ලා වගේ තව ඉන්න ඕනි මිනිස්සු කලින් යනවා. වැඩ බැරි, වැඩ දන්නැති එවුන් තව කල් ඉල්ල ඉල්ල ඉන්නවා”

“මාත් කිව්වා සමන්. ඒත් බොස්ට පුතා කැම්පස් යද්දි ගිහින් ටිකක් කල් ඉන්න ඕන කියලනෙ ඔය තීරණේ ගත්තේ”
--------------------------------
ඔහුගේ දෙවැනියා ලෙසද ඔහුට ඉතා සමීප වූවකු ලෙසද ඔහුගේ තීරණය වෙනස් කිරීමට මමද උත්සාහ කළේ වරක් දෙවරක් නොවේ. නමුත් පුතා දැන් තම සෙවණින් නික්මුණ පසු සරසවියෙන් රැකියාවකටද ඉන්පසු විවාහයකටද ඇතුළත්ව තමන්ගෙන් ඈත්වනු ඇති බවද එයට පෙර තමන්ට බිරිද හා පුතු සමග නිදහසේ කාලයක් ගත කිරීමට අවශ්‍ය බවද ඔහු කියූ විට පියකු වූ මටද එය වැරදි යැයි සිතුණේ නැත. බණ්ඩාර මහතා මෙන් ධනවතකු වූවා නම් මම වුවද එවැනි තීරණයක් ගැනීමට දෙවරක් සිතන්නේ නැත.

එදා ඔහු කාර්යාලයෙන් පිටවනු තුරු බොහෝ දෙනා පිට නොවී බලා සිටියහ. අවසානයේ ඔහු රියට නැගී හැරී බලා අත වනන විට තෙත් වූයේ මගේ දෑස් පමණක් නොවේ. ඔහුගේ ළබැදි ගුරුහරුකම්, උදව් ලබා ඇති බොහෝ අය කඳුළු පිසිනු මම දුටුවෙමි.
----------------------------------------------------------------------------------------------------------
මා සවස යන ගමන් නුගේගොඩ අලුතෙන් ඉදිකර ඇති විජයවර්ධනයට ගියේ ඔහුට මගේ පවුල වෙනුවෙන් දීමට ත්‍යාගයක් මිලට ගැනීමටය. මුලින් කිරිබත්ගොඩ නගරයට සීමාවූ විජයවර්ධනයේ ශාඛා දැන් සෑම ප්‍රධාන නගරයකම පාහේ ඉදිවී ඇත.

මා තෑග්ග ලෙස මිලට ගත්තේ අඩි දෙකක් පමණ උසින් යුතු තුන්පත් රෑනකි. 

වෙනත් නිලධාරීන්ට ඔරලෝසු, ටයි පටි, කමිස ආදිය මා මිලට ගත්තද ඉතා අනර්ඝ සන්නාමවල ඇදුම් අඳින, රොලෙක්ස් අත් ඔරලෝසුවක් පළදින ඔහුට දෙන්නට යමක් මා සිතා ගත්තේ අසීරුවෙනි. 

විජයවර්ධනයේ විවිධ ප්‍රමාණවල, විවිධ මිල ගණන් වල ඉතා අලංකාර දැව අලින් සිටින බව අප දන්නේ කාර්යාලයේ තෑගි දීමේ අත්දැකීම් වලින්මය. කුලබණ්ඩාර මහතාගේ පවුලද තුන් දෙනෙකුගෙන් යුතු පවුලක් බැවින් ඒ තෑග්ග ඔවුන්ට හොදින් ගැළපෙන බවද මම සිතාගත්තෙමි. 
-------------------------------------
එදින සවස මාත් සුජාතාත් දුවත් බණ්ඩාර මහතාගේ මන්දිරයෙන් නික්මුණේ රෑ කෑමෙන්ද පසුවය. පාරම්පරික ධන කුවේරයකුද ප්‍රභූවරයකුද වුවද ඔහුගේ නිරහංකාර පැවැත්ම නිසා කාර්යාල සුහද හමු වලදී ඔහු හමුව තිබූ මගේ බිරිඳද දුවද ඔහුට දැක්වූයේ විශේෂ කැමැත්තකි. 
-----------------------------------------------
“වීරේ, බරටම වැඩද?”

ඉදිරි සතියේ දිනක මට ඒ සිනාබර කටහඬ ඇසුණේ කාර්යාල වේලාවෙන් පසුව නැවතී මා හදිසි ලියුම් රාශියක් අත්සන් කරමින් සිටියදීය.

“ආ සර් මේ පැත්තේ?”

“ෆිනෑන්ස් එකට ආව ඔය එක එක පරණ ලියුම් වගයක් ඉල්ලලා තිබුණා ඒ ටික දෙන්න. වී‌රෙ හම්බෙන්නත් එක්කයි ආවෙ. මම ඉන්නම් වැඩ ඉවර වෙනකම්”
-------------------------------------
එදා සිකුරාදා සවස බැවින් අප දෙදෙනා කෙළින්ම ගියේ නිස්කලංක අවන්හලකටය. 

බණ්ඩාර මහතා මා පුදුම කළ දෙය කීවේ මදුවිතෙන් සප්පායම් වී මඳක් දොඩමළු වන අතරේදීය.

“වීරෙ මුකුත් හිතන්නේ නැතුව මට පොඩි උදව්වක් ඕන”

“මොකද්ද සර්”

“වීරෙ මට එදා ගෙනාව තෑග්ග හරිම ලස්සනයි. හැබැයි මට ඒක මාරු කරලා වෙන තෑග්ගක් ගන්න ඕන. වීරෙ ළග ඒකෙ බිල තියෙනවා නම් මට දෙනවද? මොකද වෙන තෑග්ගක් නම් මම කාට හරි දීලා අමතක කරලා දානවා. වීරෙගෙන් ලැබිච්ච දෙයක් නිසා මට ඒක මාරු කරලා හරි වෙන දෙයක් අරන් තියාගන්න ඕන”

“අපොයි සුළු දෙයක්නෙ සර්. බිල පර්ස් ඒකේ ඇති” මා කීවේ පසුම්බිය අදින අතරේය. මගේ පසුම්බිය දොස් නඟමින් සුජාතා අස් කරන්නේ මාස ගණනාවකට වතාවක් බැවින් බිල් පත නැතිවීම ගැන බිය වීමට හේතුවක් නැත.

“මෙන්න, මම හිතුවා සර් අලින්ට කැමති වෙයි කියලා. කමක් නෑ සර් කැමති දෙයක් ගන්න”

“වීරේට අද කතාවකුත් කියන්නම්. නැත්නම් වීරෙගෙ හිතත් නරක් වෙනවානේ මෙච්චර මහන්සි වෙලා ගෙනාව තෑග්ග මේ යකා මාරු කරනවා කියලා”

“සාමාන්‍යයෙන් අලින්ට අකමැති කෙනෙක් නෑනෙ සර්. ඒකයි මම ඒ තෑග්ග දුන්නේ.”

“වීරෙ සමහර විට විස්වාස කරන එකකුත් නෑ. ඒත් සමහර දේවල් තියනවනෙ අපිට ඔප්පු කරගන්න කිසිම ක්‍රමයක් නැති උනත් විස්වාස නොකරත් බැරි. අලින්ගෙයි අපේ පවුලෙයි තියන සම්බන්දෙත් ඒ වගේ”

මට ජිවිතයට අමතක නොවූ, ඉන්පසු බොහෝ අවස්ථාවල මගේ මතකයට ආ ඒ පුදුමාකාර කතාව ඔහු ඇරඹුවේ එලෙසය.

“අපේ අත්තලා උඩරට නිළමෙලානෙ. සුද්දො ආවමත් උන්ට හේත්තු වෙලා ඒ කාලෙත් තාන්න මාන්න අරගෙන කරදරයක් නැතුව ඉඳලා තියනවා. ඒ කාලෙ අලි අල්ලන ගාල් තියනවානේ වීරෙ. අපේ පරම්පරාව තමා දිගටම ඒ වැඩේ භාරව ඉදලා තියෙන්නේ. මහා සෙනඟක් අරන් ගිහින් කරන පුදුමාකාර බරපතල වැඩක්. ගස් වලින් වල් අලින්ට නොපෙනෙන්න ගාල හදල, රැළ ඒ ගාලට කොටු කරන්න ඕන. ඉතින් එංගලන්තෙ ඒ කාලේ හිටපු ඔටුන්න අයිති ඇල්බට් කුමාරයා ලංකාවට ඇවිත් තියෙනවා අටසිය අසූවෙ විතර. ඇයි ඉතින් සිලෝන් කියන්නෙ සුද්දන්ට තිබුණ හොද ම යටත් විජිතයක් නේ. ඉතිං ඔය කුමාරයට බලන්නත් එක්ක ලබුගම කැළේ අලි ගාලක් කරලා තියෙනවා. ගාලට වල් අලි කොටු කරගන්නේ හීලැ අලිත් එක්කනේ. ඉතිං ඔය දවසේ ආණ්ඩුකාරයයි ආර්යාවයි කුමාරයයි ඔක්කොමත් ඉද්දි එක හීලෑ ඇතින්නක් කලබල කරන්න පටන් අරන් තියෙනවා. ඔක්කොම අලි කුලප්පු වෙන නිසා ටිකක් වෙලා බලලා තීරණය කරලා තියනවා මේ සතාට වෙඩි තියන්න. අපේ අත්තා හොද වෙඩික්කාරයෙක්ලු. කෙළින්ම නළල මැදට තියපු එක වෙඩි පාරෙන් ඇතින්න මැරිලා වැටිලා තියනවා. කුමාරයා ඒ දක්ෂකමට දුන්න පදක්කමකුත් තියෙනවා අත්තට. මේ ඇතින්නගෙ පැටියාත් ඉදලා තියෙනවා ගාලේ. තමන්ගේ අම්මා මැරිලා වැටෙනවා දැකලා ඊළඟට ඌ කලබල වෙලා. ඒකව හීලෑ අලි ලවා ගස්සලා තමයි මෙල්ල කරගෙන තියෙන්නේ. කොහොමහරි පොඩි පැටියෙක් නිසා ඌට ඒක ඔරොත්තු දෙන්න නැතුව ඇති. පැටියාත් රෑ වෙද්දි මැරිලා.”

“හරි අපරාදයක් නේ. ඉතිං සර් කොහොමද ඔච්චර විස්තර දන්නේ?”

“මේවා අපේ අප්පච්චිලා කියපු කතා. හැබැයි මම යූ කේ ඉන්න කාලෙ ජෝන් ෆර්ගසන් කියලා සුද්දෙක් මෙහෙ ගැන ලියපු සටහන් වගයක් කියෙව්වා. ඒකෙ තිබුණා සිද්දිය හරියටම. අන්තිමට අර මරපු ඇතින්නගේ වලිගෙත් කපලා දීලා තියෙනවා කුමාරයටා තෑග්ගකට ඒ දවස මතක් වෙන්න”

“අපිට දැන් තිරිසන් වැඩ කියලා හිතුණට ඒ කාලේ හරි වීර ක්‍රියා වෙන්නැතිනෙ සර්.”

“ඔව් වීරෙ. කොහොම හරි ඔය සත්තු දෙන්න මැරුණ එක ගැන අපේ අත්තා නම් හරියට කම්පා උන බවයි කියන්නේ. ඒ ගාලෙ වැඩ ඉවර වෙලා අත්තා පිළිමතළාවෙ තිබුණ ගෙදරට ඇවිත් තියෙන්නේ සතියකට දෙකකට පස්සේ. මුත්තම්මටත් විස්තරේ කියලා අත්තා ගිහින් තියෙනවා වත්තේ ඇවිදින්න. අත්තට ඉඳලා තියෙනවා ඇත්තු තුන් දෙනෙක්. ඒයින් එකෙක් පොඩි කාල ඉදන් අත්තා දරුවෙක් වගේ හදපු සතෙක්ලු. වෙන එකක් තියා අත්තා බැදලා පෙරහරේ ඇවිත් තියෙන්නෙත් උගේ පිටේ. අත්තා කොහේ ගියත් ගෙදර ආව ගමන් ඌව බලන්න තමයි ගිහින් තියෙන්නේ. ඉතින් වෙනදා පුරුද්දට උක් දණ්ඬකුත් අරන් ගිහින් ඌට දීලා තියෙනවා. ඇත් ගොව්වා වත් ළඟට එන්නේ නෑලු අත්තා යද්දි ඒ තරම් සත්තු හීලෑ නිසා. ඇතා වෙනදා වගේ අත්තා ළගට නෑවිත් ටිකක් වෙලා බලාගෙන ඉදලා තියෙනවා ඊට පස්සේ ඇත් ගොව්වා බලා ඉද්දිම ඇතා අත්තාව ගහකට තද කරලා බඩ මැදින්ම ඇනලා තියෙනවා.”

“අම්මෝ සර්” මා කීවේ ඇඟ හිරි වැටී යනු දැනුනු බැවිනි. 

“අත්තා එතනම නැතිවෙලා තියෙනවා”

“සතා මඳ කිපිලා හිටියද දන්නේ නෑ නේද?”

“නෑ වීරේ. ඊට පස්සේ ඇත් ගොව්වා කෑගහගෙන ආවම කිසිම කලබලයක් නැතුව පාඩුවේ ඉදලා තියෙනවා. ඉතිං වීරේ විස්වාස කරනවද ඔය අත්තාගෙන් පටන් අරන් අද වෙද්දි අපේ පවුලෙ අට දෙනෙක් අලි අතින් මැරුම් කාල තියෙන බව?”

“මොකක්?” මා ඇසුවේ විමතියෙනි. 

“ඒ අත්තාගෙ පුත්තු දෙන්නම නැති වුණේ කැළෑවල යද්දි වල් අලි ගහලා. ඊට පස්සේ එක මුණුබුරෙක් මැරුණේ අපේ අත්තා වගේම ගෙදර හදපු අලියා පාගලා. ඒ සිද්දියෙන් පස්සේ තමයි මේක මේ සාපයක් වගේ කියලා අපේ පරම්පරාවෙ අය හිතන්න පටන් අරන් තියෙන්නේත්. ආයෙ ඔය කතාව එළියට ආවේ පනස් නවයෙ නුවර පෙරහැරෙ අලි කුලප්පු උන එකෙන්. එදා රාජා ඇතා පෙරහැර බලන්න ඇවිත් හිටපු කෙනෙක් දැකලා කලබල වෙලා අනින්න ගිය එකෙන්ලුනේ ඔය කලබල පටන් ගත්තේ. ඒ ඉඳලා තියෙන්නේ ඔය අලි ගාලෙ අත්තාගෙ මුණුපුරෙක්. අපේ අප්පච්චිගෙ මහප්පා. එදා මැරිච්ච පහළොස් දෙනාගෙන් පළවෙනියා ඒ අත්තා. ඒ රාජා ඇතා අවුරුදු විසි හයක් පෙරහැරේ ගියපු හොදටම හීලෑ ඇතෙක්. අයිතිකාරයා වෙච්ච උඩුරාවණ මහත්තයටටවත් විස්වාස කරන්න බැරි වෙලා තියෙනවා ඒ වගේ සතෙක් එදා එහෙම හැසිරිච්ච එක”

“හරි පුදුම කතාවක් නෙ සර්. සර් ඉතිං මේ සිද්දි ඇත්තටම විස්වාස කරනවද?”

“මන්දා වීරේ. මම විස්වාස කරෙත් නෑ අපේ අප්පච්චි නැතිවෙන කම්ම. මමත් හිතන් හිටියේ නිකම් අහම්බෙන් උන සිද්දි ටිකක් අපේ කට්ටිය මේ කතාවකට ඈඳාගෙන කියලා”

“සර්ගෙ අප්පච්චි?”

“වීරෙ විස්වාස කරන එකකුත් නෑ. මම ඇඩ්වාන්ස් ලෙවල් ඉන්න කාලෙ ට්‍රිනිටි එකේ මගේ ක්ලාස් එකේ හිටපු කොල්ලො කට්ටිය අපේ ගෙදර ඇවිත් මහවැලි ගඟට නාන්න ගියා. ඒ කාලෙ ඉතින් අපිටත් බරක් පතලක් නෑනෙ. ඉතිං අපේ අප්පච්චිත් කොල්ලො ටික විතරක් යවන්න බෑ කියලා ගෙදර උදව්වට හිටපු හීන් බණ්ඩාත් එක්ක ඇවිත් අපි නානකං ගොඩට වෙලා හිටියා.”

"ඒ පැත්තේ දේවාලෙක පෙරහැරටද කොහෙද ගෙනාපු ඇතෙක් ගඟේ දිගා කරගෙන ගොව්වා පොල්ලෙලි වලින් අතුල්ලනවා අපි යද්දි. ඌ වගේ වගක් නැතුව නිදාගෙන හිටියේ. වීරේ කියන්නේ අපි ටිකක් උඩට ගිහින් නාන කොට මහා කලබලයක් ඇහුණා. අපි බලද්දි අර අලියා මාරාවේසෙන් වගේ නැගිටලා ඉවුරට යනවා. මං හිතන්නේ අප්පච්චි ග‌ගේ අලියෙක් හිටිය බව දැක්කෙත් එවලෙ. අප්පච්චියි බණ්ඩයි දුවන්න හැරුණට අඩියක් වත් යන්න උනේ නෑ. අලියා ගඟට කිට්ටුව හිටපු බණ්ඩව පහු කරං කෙළින්ම අප්පච්චි ළඟට දුවලා බඩ මැදින් අරන් පොළවම ගැහුවා.” 

බණ්ඩාර මහතා අත තිබූ බීර වීදුරුව මේසය මත තබා මඳක් වෙලා නිහඩව සිටියේය.

මමද ගොලු වී අවන්හලට එපිටින් පෙනෙන අඳුර දෙස බලා සිටියේ කියන්නේ කුමක්දැයි සිතා ගත නොහැකිවය. 

“මට පස්සේ බණ්ඩා කිව්වේ අලිය දැකපු ගමන් අප්පච්චි “බණ්ඩෙ අද මගෙ වැඩ හරි” කියලා කිව්වාලු. මං හිතන්නේ අප්පච්චිට අර කතාව මතක් වෙන්න ඇති.”

“පුදුම දේවල්නේ සර්. මම සර්ම කිව්වේ නැත්නම් මේක විස්වාස කරන්නෙත් නෑ”

“අප්පච්චි නැති වෙන කම් මාත් විස්වාස කළේ නෑ වීරෙ. මොකද අපේ අප්පච්චි මස් මාලු කටේ වත් නොතියපු හාමුරුදු කෙනෙක් වගේ නිශ්ශබ්ද මනුස්සයෙක්. අර අලියාත් අප්පච්චිව බිම දාලා පෑගුවට පස්සේ බල්ලෙක් වගේ අර ගොව්වා එක්ක ගියා. ඉතිං කොහොම හරි වීරෙ අර සිද්දියෙන් පස්සේ අපේ පරම්පරාවෙ කිසිම පිරිමියෙක් හැට පනින තුරු ජීවත් වෙලා නෑ. දැන් මටත් පනස් හතක් නෙ. ඇත්තටම මමත් දැන් මේ සිඩ්නි යන්න හිතුවේ ඕකත් දැන් දැන් මට වැඩිපුර මතක් වෙනවා. මම කොහොමත් අලි ඇත්තු ළඟට නොයා සෑහෙන්න පරිස්සම් උනා ජීවිතේම”

“මට මතක් උනේ සර් ඔය අලි සෑහෙන්න මරපු සුද්දෙක්ගේ සොහොනට හෙණ ගහනව, කොච්චර බැන්දත් අලි ඇවිත් ආය ඒ සොහොන කඩනවා කියලා කියල කතාවක් තියෙනවා නේද?. සොබාව දර්මෙට අපි නරක කරද්දි අපි පස්සෙන් එන එකත් වෙන්න පුලුවන්. ඒත් මෙහෙම දේවල් හරිම පුදුමයිනෙ. මම කවදාවත් අහල නෑ මෙහෙම කතාවක්.”

“ඔව්. මම දැකලත් තියෙනවා ඒක. ඉරේෂන්ගෙ සොහොනනේ. අපිට හිතාගන්න බැරි දේවල් ලෝකෙ තියෙනවා වීරෙ. ඇයි අහල නැද්ද එක්නැලිගොඩ මොහොට්ටාලගෙ දදේ කතාව. රාජසිංහ රජ්ජුරුවො අල්ලගත්තු වෙලාවෙ එක්නැලිගොඩ රජ්ජුරුවන්ට පයින් ගහල තියෙනවා. තවමත් ඒ පරම්පරාවෙ පිරිමි අයට වැඩිහිටි වයසට එද්දි කකුලෙ සනීප කරන්න බැරි දදයක් එනවා කියල තමයි කියන්නේ. පුදුම වැඩේ කියන්නේ අපේ පවුලෙත් පිරිමින්ට විතරයි මේක වෙන්නේ.”

“සුරංගනා කතා වගේ සර් මේවා. අපිට ඇහැට පේන්නෙ නැති දේවල් තව කොච්චර ඇත්ද? අනේ සර් මම ඔය කතාව දන්නවා නම් කීයටවත් අර තෑග්ග දෙන්නේ නෑ. මම හෙට උදේම ඇවිත් ඒක අරන් ගිහින් මාරු කරල දෙන්නම්”

“පිස්සුද වීරේ. මම හෙට කොහොමත් නුගේගොඩ යන්න ඉන්නේ කොල්ලට ගෙනියන්න ජාති ටිකක් ගන්නත් එක්ක. මම හෙට ඒක මාරු කරන්නම්. අපි එහෙම නම් යමු නේද?

“යමු සර්. අනේ සර් කෝකටත් පරිස්සම් වෙන්න. මගේ හිතට නම් මොකද්ද වගේ හරියට”

“මම දැන් යන රටේ අලි කියන නාමයක් නෑනෙ වීරේ. මගේ කොල්ලත් එහෙම නැවතුණාම අපෙන් ඕක ඉවරම වෙලා යයි. අනික මම සෑහෙන්න සත්තු නිදහස් කරන, සත්තුන්ට දාන මාන දෙන වැඩවලටත් එකතු උනා පහුගිය කාලෙ. කොහොමත් අපේ මාලියි පුතයි කිසිදෙයක් දන්නෙත් නෑ මේ ගැන. නිකම් බය කරන්නත් ඕන නෑනෙ”

“ඒක තමයි සර්. දෙවි පිහිටෙන් සර්ලට නම් කරදරයක් වෙන්නෙ නෑ. ඒත් මටත් හිතෙනවා යන එක හොඳයි කියල”

 එදා මා නිවස අසලින් බස්වා ඔහු ගිය පසුවද මම බොහෝ වෙලාවක් රිය නොපෙනී යනතුරු බපලා සිටියෙමි. කුඩා වියේ ඇලන් ක්වාර්ටමේන්ගේ වීර චාරිකා, ඈ හෙවත් අයේෂා වැනි අද්භූත කතා කියවූ පසු දැනුණු සසැලීම මගේ ළයට බොහෝ කලකට පසුව අදද දැනිණි. 

මා ඒ කුලබණ්ඩාර මහතා දුටු අවසාන අවස්ථාව බව මම එවිට දැන සිටියේ නැත.
-------------------------------------------------------------------
සෙනසුරාදා මම උදෑසනින්ම කලකින් අස් කරන්නට බැරි වූ පහළ ගරාජය අස්පස් කරන්නට පටන් ගත්තෙමි. සුජාතා මගේ දුරකථනය රැගෙන ටික වේලාවකින් ආවේ එය බොහෝ වරක් නාද වූ බව කියමිනි.

ඇමතුවේ අපේ කාර්මික නිලධාරියකු වූ සුසන්තය.

“වීරසිංහ මහත්තයා. අපේ බණ්ඩාර සර්ට කරදරයක් කියලා පොඩි ආරංචියක් ආවා. දන්නවද බලන්න කතා කළේ?”

“අනේ නෑනෙ සුසන්ත. ඊයෙ රෑ මාව ගෙදරිනුත් බස්සලා නේ සර් ගියෙ? මොකද දන්නෑ වෙලා තියෙන්නේ?” පසුගිය රාත්‍රියේ බණ්ඩාර මහතාගේ කතා ඇසූවිට දැනුණු සීතල නැවත මගේ පපුවට දැනුණේ එවිටය.

“හරියටම දන්නේ නෑ මහත්තයා. විජේවර්ධනේට බඩු ගන්න ගියාම අර එතන තියෙන විසාල අලි රූපෙ ඇඟට පෙරලිලා කියල තමයි ආරංචිය ආවෙ. මං දැං ඒ පැත්තෙ යන්නයි හැදුවෙ”

විජයවර්ධනයේ පිවිසුමේ ඇත්තේ අඩි දහයක් පමණ උසැති සැබෑ ඇතකු ලෙසටම දැවයෙන් නිම කළ නිමැවුමකි. 

“අනේ හරි සුසන්ත. මාත් ටක් ගාලා එන්නම්”
-----------------------------------------------------------------
විජයවර්ධනයට ගාම්භීරත්වයද අලංකාරයද එක්කළ දළ ඇතාගේ සුවිසල් දැවමුවා කැටයම අප යන විටද තිබුණේ බිම පතිත වීය. ඒ අසල කුඩු පට්ටම් වූ වීදුරු රාක්ක කිහිපයක කැබලි රුධිරය සමග මුසුව විසිරී තිබුණි. ඇත් කැටයම තබා ඇති තැන වෙනස් කිරීම පිණිස සේවකයන් පිරිසක් එය ඔසවද්දී අධික බර දරාගත නොහැකිව එය පෙරළුණු බවද බිල් ගෙවීම සඳහා එතැනින් යමින් සිටි මහතකු යට කරමින් එය පතිත වෙද්දී එයට සවි කර තිබූ මුවහත් ඇත් දළය ඔහුගේ ළය පසා කරගෙන ගිය බවද අප දැනගත්තේ සුදුමැලිව ගිය ආරක්ෂක නිලධාරී ගැටයකුගෙනි.
--------------------------------------------------------------
කුලබණ්ඩාර මහතා බිලිවූයේ ඔහුගේ පරම්පරාව පසුපස එන ශාපයටමදැයි මට අදටත් සිතාගත නොහැකිය. ඒ ඛේදවාචකයෙන් පසු ගතවූ වසර ගණනාව තුළ මම බොහෝ විට ඒ ගැන කල්පනා ක‍ර ඇත. මගේ බොහෝ මිතුරන් මේ කතාව ඇසූ පසු කියා සිටින්නේ යටි සිත සැමදේටම මුල බවත් ආකර්ෂණීය නීතිය නිසා ඒ අහඹූ අනතුරු සිදුවන බවත්ය.

කුලබණ්ඩාර මහතාගේ පුතුද බිරිඳද ඔවුන් සැළසුම් කර තිබූ පරිදිම ඕස්ට්‍රේලියාවට ගියේ අවමංගල්‍යයෙන් මාසයකට පමණ පසුය. ඔවුන්ට සමුදීමට එහි ගිය යද්දී මා සිතාගෙන ගියේ තරුණ සුනෙත්ට ඔහුගේ පියා පැවසූ කතාව කියා ඔහුට පරිස්සම් වන ලෙස කීමටය. නමුත් පිය වියෝවෙන් තැවෙන ඔහුගේ අවිහිංසක යොවුන් දෙනෙත් දෙස බලා එවැනි බරක් ඒ සිත මත තැබීමට මට සිත් වූයේ නැත.

තමන් හැකි පළමු අවස්ථාවේදීම එරට පුරවැසිභාවය ලබාගන්නා බවද මෙහි නැවත පදිංචියට ඒමට අදහසක් නැති බවද ඔහු මා හා සල්ලාපයේදී පැවසූ බැවින් එය නොකියාම සිටින්නට මම තීරණය කළෙමි. එය එසේ නම් ඔහු ආරක්ෂිතය. 

එදා සමුගත් පසු සුනෙත්ටත් මාලී කුලබණ්ඩාරටත් අමතා සැප දුක අසන්නට සිතා සිටියද රැකියාවේ කාර්ය බහුලකමද කුටුම්භ සංරක්ෂණයේ විවිධ පැතිකඩද අතර දෝලනය වූ මට එය කළ හැකි වූයේද නැත. 
----------------------------------------

ඒ දෙදාස් දාසය වසරය.

මගේ දියණිය මවක වී අප දෙදෙනා ඇයග් නිවසට ගෙන්වා ගත්තේ මේ වසරේ මුලය. සිරුරේ උණුසුම සොයන සිඟිත්තිය මගේ ඇකයේ තබාගෙන දුවට මඳක් විවේක ගන්නා ‍ලෙස මා කීවේ ඇයද රැයේද හරිහැටි නින්දක් නොලැබෙන බැවිනි.
 
ඇදේ ඇලවුණු දුව “බලමු ගොසිප් එකේ මොනවද තියෙන්නේ කියලා” කියමින් දුරකථනය අතට ගත්තාය. ඇය නැවත මා වෙත හැරී දුරකථනය මට පෑවේ මඳ වේලාවකිනි.

“තාත්තිලගෙ අර නැතිවුණ බොස් කුලබණ්ඩාර නේද? මේ බලන්න එයාගේ පුතාද කියල”

දුරකථනය මුහුණතෙහි සටහන් වී තිබුණේ යාල වනෝද්‍යානයේ සිදුවූ අනතුරක් ගැනය.

මධුසමය ගත කරන්නට තම ඕස්ට්‍රේලියානු ජාතික බිරිඳ සමඟ ලංකාවට පැමිණ යාල සෆාරි චාරිකාවක් යන අතරතුර සිංහල තරුණයකු මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන් බව එහි කියා තිබිණි. සෆාරි ජීප් රියට වන අලියා පහර දුන් විට මියගිය එකම පුද්ගලයා වූ සුනෙත් කුලබණ්ඩාරගේ කඩවසම් මුහුණ ඒ විස්තරයට යටින් සටහන් වී තිබිණි. 

Nissanka Rajapaksa

unread,
Aug 24, 2024, 9:30:56 PM8/24/24
to INDRAKA group
46
හැමදේම වෙනස් වූ ඒ සිකුරාදා දිනය

- පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

(Translation of the short story 'The Friday Everything Changed' by Anne Hart)

චාරිත්‍ර. මිස් රැල්ස්ටන්ගේ පන්තියේ හැමදාම වතුර පනිට්ටුව ඔසවාගෙන එන කාර්යය පැවරුණේ පිරිමි ළමුන්ටයි. ඒත් එය එසේ වූයේ එක්තරා දිනයකදී ගැහැණු ළමුන් ඊට එරෙහි වීමට තීරණය කරන තුරු පමණි.
 
හැම සිකුරාදාවකම පාසලේ අන්තිම පැය වෙන් වූයේ කනිෂ්ඨ රතු කුරුස සංගමයේ කටයුතු සඳහායි. ඒ වෙලාවට කුඩාම ශිෂ්‍යයන් තම රතු කුරුස ලාංඡනය පැළඳගන්නා අතර අප වැනි වැඩිමහල් සිසුන් ඉක්මණින්ම පන්තියේ පසුපස වූ සඟරා අල්මාරිය වෙත යන්නේ වඩාත්ම රසවත් සඟරා තෝරාගැනීමට අවස්ථාව ලබා ගැනීමටයි. මේ අල්මාරියේ සඟරා රැසක් වූ අතර ඒවා නැෂනල් ජියෝග්‍රැෆික් සහ රතු කුරුස පුවත් නම් සඟරා දෙවර්ගයට අයත් විය. පන්තියේ පසුපස කොටසේ වැඩියෙන්ම අසුන් ගත්තේ පිරිමි ළමුන් වූ නිසාත්, ඔවුන් ශක්තිමත් බවින් වැඩි වූ නිසාත් ඔවුහු නිතරම නැෂනල් ජියෝග්‍රැෆික් සඟරා එකතුව අයිති කර ගත්හ. මේ නිසා ඔවුන්ට ඒ මුළු කාලයම එහි වූ උඩුකය නිරුවත් ගෝත්‍රික කාන්තාවන්ගේ රූප බැලීමට හැකි වූ අතර ගැහැණු ළමුන් වූ අප රතු කුරුස පුවත් සඟරා බලා සැනසිය යුතු විය. ඒවායේ පිරී තිබුණේ සම්පූර්ණ ඇඳුමින් සැරසුණු අප්‍රිකානු දරුවන් කියවීමට ඉගෙන ගන්නා පින්තූර පමණි. සිකුරාදා හවස් වරුවේ අපගේ සඟරා බැලීමත්, ගුරුවරිය කුඩා සිසුන්ට කතන්දරයක් කියා දීමත් යන ක්‍රියාවන්ට අමතරව පුරුද්දක් ලෙස සිදු වූ අනෙත් එකම දේ නම් ඊළඟ සතියට වතුර ගෙන ඒමට පිරිමි ළමුන් දෙදෙනෙක් පත් කිරීමයි.
 
අපගේ පාසලේ වතුර පනිට්ටුව හැමවිටම තබා තිබුණේ ගුරු මේසයට පසුපසින් වූ රාක්කයකයි. තිබහක් දැනුණු යම් කෙනෙක් වී නම් කඩදාසියකින් ගොටුවක් තනාගෙන, ගුරුවරියගේ අවධානය කෙසේ හෝ ලබාගෙන දිය බීමට අවසර ගෙන, ඒ කාර්යය සඳහා පන්ති කාමරය ඉදිරිපසට යා යුතු විය. 
 
පන්තියේ ඉදිරිපස ගුරු මේසය අසල සිට දිය බීම එක්තරා ආකාරයක සිත්ගන්නාසුළු කටයුත්තක් විය. ඒ උස් ස්ථානයට මුළු පාසලම පෙනුණේ වෙනස් අයුරිනි. එතැනදී ගුරුවරිය ආරුඪ කරගත් වැදගත්කම ගැන යම් අවබෝධයක් ලබාගනු හැකිවිය. පන්තියේ ඉදිරිපස සිට බලද්දී පොත් වෙත තම හිස් නැඹුරු කරගත් සිසු සිසුවියන් පේළි රැස, කවුළුවෙන් ඉහිරෙන හිරු එළිය, කළු ලෑලි සහ බිත්ති මත අලවා ඇති විවිධ දැන්වීම් ආදිය දකිද්දී එක්වරම හැඟෙන්නේ මේ නම් අර සෞඛ්‍ය සඟරා ආදියෙහි ඇති, ළමුන් හැමදෙනාම පිළිවෙලට, එකම තරමට ඇති නගරයේ පාසලක් බවයි. ඒත් ඒ පළමු මායාකාරී මොහොතින් පසු ගල් අඟුරු උදුන, පතුරු ගිය යුගල් ඩෙස්කු සහ සැබෑවටම එහි සිටින සිසුන් ආදිය නෙත ගැටෙද්දී මේ අපගේම පාසල බවට සැකයක් නැතිවේ. කොහොමත් ඒ සඟරාවල රූපවල සිටි ළමුන්ට අප කිසිසේත් සමාන වූයේ නැත. ඇතැම්විට ඒ එකම පන්තියේ එක් එක් වයස් ඛාණ්ඩවල සිසුන් සිටි නිසා විය හැක. පන්තියේ ඉදිරිපස 'නෑන් සහ ඩෑන්' ගැන ඇති සරල කියවීම් පොත කියවමින් සිටි කුඩාඋන්ගේ සිට පන්තියේ පසුපස තම ඩෙස් පුටු වල වකුටු වී සිටි වැඩුණු පිරිමි ළමුන් දක්වා විවිධ ප්‍රමාණවල ළමුන් එහි විය. ඇතැම්විට සඟරාවල සිටි දරුවන්ගෙන් අප වෙනස් වූයේ අප නිතර ගනකම් ඇඳුම් රැසක් ඇඳ සිටි නිසා විය හැක. නොඑසේ නම් මෙහි අඩුවී තිබුණේ තමන් ආසාවෙන් පාසලේ සිටින බවට නගරයේ දරුවන්ගේ මුහුණුවලින් පෙනුණු පෙනුම විය හැක.
 
මේ හැම දෙයක්ම වතුර ගෙන ඒමේ මාතෘකාවෙන් පිට ය. 
 
අපගේ පාසලට වතුර ලැබුණේ සැතපුම් කාලක් පමණ දුරින් වූ දුම්රිය පළේ තිබුණු නල ළිඳකිනි. අතීතයේ දවසක අපගේ පාසලට පැමිණි සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් පාසලේ හැම කෙනෙකුටම පානීය ජලය තිබිය යුතු බව නිවේදනය කළේය. මින්පසු ටික කලක් ගතවන තුරු පාසල් වත්තේ ළිඳක් හැරීම ගැන කතාවක් තිබුණද අන්තිමේදී අපට විශාල ගැල්වනයිස් පනිට්ටුවක්ද දුම්රියපළේ නල ළිඳ පාවිච්චි කිරීමට අවසරයක්ද ලැබුණි. එදායින් පසු අප පාසලේ පිරිමි ළමුන්ට පාසලේ සිදුවූ වැදගත්ම දේ- සොෆ්ට්බෝල් ගැසීමටත් වඩා වැදගත්ම දේ- වූයේ වතුර ගෙනෙන රාජකාරියට පත්කරන්නේ කවුදැයි දැනගැනීමයි. 
 
ඔබ පිරිමි ළමයෙක් නම් මේ ගැන සිහින මැවීම ඔබ අරඹන්නේ පළමු ශ්‍රේණියේදී වූ නමුත් පස්වන ශ්‍රේණියට පෙර මේ අවස්ථාව ඔබට ලැබීමට කුඩා හෝ සම්භාවිතාවක් වත් තිබුණේ නැත. ඒ වයසේදී පවා ඔබට ඒ වරම ලැබුණේ ඔබේ ශක්තිමත් බව ගැන ගුරුවරිය සෑහීමකට පත්වූයේ නම් පමණි. ඔබ මේ ගැන සිහින මැව්වේ වතුර ගෙනඒමට තෝරාගනු ලැබීමෙන් ඔබ පාසලේ සිටින ශක්තිවන්තයෙක් හැටියට නම් කෙරෙන නිසා පමණක් නොව ඒ රාජකාරිය නිසා වරකට පැය භාගය පමණ බැගින් පාසලින් පිටව සිටීමට ඔබට ඉන් වරම් ලැබෙන බැවිනි. නමුත් වැඩියත්ම ඔබ මේ ගැන සිහින මැව්වේ ඒ 'නෑන් සහ ඩෑන්'ගේ කතා මෙන් නොව සැබෑවටම සිදුවන දෙයක් වූ නිසායි. මේ නිසා හැම සිකුරාදාවකම රතු කුරුස සංගමය අවසන් වෙද්දී, ගුරුවරිය විසින් ඊළඟ සතියටම වතුර ගෙන එන පිරිමි ළමුන් දෙදෙනා තෝරාගැනීමට සූදානම් වෙද්දී පන්තියේ පසුපස පේළි වල අමුතු නිහඬ බවක් පැතිරුණු අතර ඒ වෙලාවට නැෂනල් ජියෝග්‍රැෆික් සඟරා කහ පැහැති සමනල්ලු මෙන් තම පියාපත් අකුලා ගනු පෙනුණි. එක්තරා සුවිශේෂී හවස් වරුවක මේ සියල්ලම උඩු යටිකුරු වනතුරු හැමදාම සිදුවුයේ මෙයයි. එදා ගුරුවරිය විසින් අර්නි චැප්මන් සහ ගානට් ඩික්සන් වතුර ගෙන ඒමට තෝරා පත් කළ පසු මට එහා පසින් අසුන්ගෙන සිටි ඇල්මා නයිල්ස් තම අත ඔසවා මෙසේ ප්‍රශ්න කර සිටියාය "ගෑනු ළමයින්ට වතුර ගේන්න යන්න බැරි ඇයි?"
 
යුධ චිත්‍රපටිවල මෙන් ජර්මානු ගුවන් යානයක් අප පාසල ඉහලින් මතුවී බෝම්බයක් අත හැරියා නම් අප මීට වඩා පුදුමයට පත්වන්නේ නැත. මුළු පන්ති කාමරය පුරාම තද නිහැඬියාවක් පැතිරුණු අතර අපි එකාවන්ව ගුරුවරිය දෙස බැලුවෙමු.
 
මේ වසරේ අපගේ ගුරුවරිය රැල්ස්ටන් මෙනෙවිය විය. ඇය රිවර් හිබට් ප්‍රදේශයේ කෙනෙක් වූ නමුත් අපි ඇයට මහත් කැමැත්තක් දැක්වූයෙමු. ඇයට තද ගති තිබුණත් අපට පෙරදී ලැබුණු සමහර ගුරුවරු මෙන් ඈ නපුරුකම් පෑවේ නැත. ඈ ඉතා තරුණ විය. (ඈ රිවර් හිබට් පාසලෙන් 11 ශ්‍රේණිය සම්පූර්ණ කර තිබුණේ ඉකුත් වසරේදී යි. රිවර් හිබට් හි 11 ශ්‍රේණිය වැනි සෝබන පන්ති බෙදීම් තිබිණි.) පාසල ඇරඹුණු පළමු සතියේදී ඇයට පාසලේ වැඩිමහල් පිරිමි ළමුන්ගෙන් යම් කරදර සිදු වී තිබිණි. නමුත් ඇයත් සිරුරෙන් කුඩා නොවූ අතර ඒ පිරිමි ළමුන් වැඩි ප්‍රමාණයක් පන්තිය ඉදිරිපසට ගෙන්වා අපට පෙනෙන්නටම වේවැල් පහර දීමෙන් පසු (ඒ දඬුවම් වල වේදනාවේ තරමේ කුඩාම සිසුන්ට පවා පැහැදිලිව පෙනුණි) පන්තිය තුළ යම් සාමකාමී බවක් ඇතිවිය. තමන්ට ඒ තරම් තදින් වේවැල් පහර දීම ගැන පිරිමි ළමුන් මිස් රැල්ස්ටන් ගැන එක්තරා ප්‍රසාදයක් දැක්වූ අතර අප වැනි ගැහැනු ළමුන් නම් ඇයට කැමති වූයේ ඈ නිතරම නයිලෝන් ස්ටෝකින්ග් සහ අඩි නූස් පාවහන් පැළඳි නිසාය. නමුත් මිස් රැල්ස්ටන්ගේ වැදගත්ම ලක්ෂණය වූයේ පාඩමක් අතරමැදදී කියමින් සිටි දේ නවත්වා ඈ අප දෙස බැලූ ආකාරයයි. පන්තියෙන් පන්තියට උඩට තල්ලු වී ආ ළමුන් රැසක් ලෙස නොව සැබෑ මනුෂ්‍යයන් ලෙස ඈ අප දුටු බව ඒ බැල්මෙන් පෙනුණි. ඒ සිකුරාදා හවස් වරුවේ ඇල්මා නයිල්ස් අත ඔසවා " ගෑනු ළමයින්ටත් වතුර ගේන්න යන්න බැරි ඇයි?" යැයි ඇසූ විට අප සැම එක්වරම සිනා සයුරක නොගිලී මුලින්ම මිස් රැල්ස්ටන් දෙස බැලුවේ එබැවිනි. 
 
අන් කවර ගුරුවරයෙක් වුව පිළිතුරු දෙන පරිදි "කෙල්ලෝ කවදාද වතුර ගේන්න ගියේ?" නැතහොත් "පණ්ඩිතකම් කියවන්නද ලෑස්තිවෙන්නේ ඇල්මා?" යැයි නොකී මිස් රැල්ස්ටන් කිසිත් නොකියා ඇල්මා දෙස මොහොතක් පරීක්ෂාකාරීව බලා සිටියාය. තමා එක්වරම පන්තියට අතහැරිය හෙණ ගෙඩිය නිසාවෙන් ඇල්මා පසුවූයේ සුදුමැලි මුහුණිනි. 
 
සෑහෙන නිහඬතාවයකට පසු අන්තිමේදී තම හඬ අවදි කළ මිස් රැල්ස්ටන්, "එහෙම දෙයක් ගැන හිතන්නවත් එපා ඇල්මා" යැයි කියනවා වෙනුවට තමන්ගේම හෙණගෙඩියක් පන්තිය වෙත අත හැරියාය. "මම කල්පනා කරලා බලලා ලබන සිකුරාදා වෙද්දී කියන්නම්" ඈ කීවේ සැබෑවටම ඒ පොරොන්දුව රකින කෙනෙක්ගේ හඬිනි. 
 
එදින අප පිට්ටනියට එළඹුණු මොහොතේම ගැටලුකාරී තත්ත්වය ඇරඹිණි. මිස් රැල්ස්ටන් ඒ පිළිතුර දුන් විගසම තමන්ගේ බලාධිකාරයට යම් තර්ජනයක් එල්ල වූ බවත්, ගැහැණු ළමුන්ට වතුර ගෙන ඒමේ වරප්‍රසාදය ලැබීමට කුඩා හෝ ඉඩක් ඇත්නම් තමන් එය වළක්වාලීමට තමන් හැකි හැම දෙයක්ම කළ යුතු බවත් පිරිමි ළමෝ දැන සිටිහය. මේ වතුර ගෙන ඒමත් ට්‍රැක්ටරයක් පැදවීම හෝ එසේ නැතහොත් ටොරොන්ටෝ මේපල් ලීෆ් කණ්ඩායමට සෙල්ලම් කිරීම මෙන් 'දැනෙන' සංසිද්ධියක් වූ අතර ඒ නිසාම එහි අයිතිය පැවතිය යුත්තේ පිරිමි ළමුන් සතුව බව ඔවුහු විශ්වාස කළහ. 
 
මේ නිසා ඇල්මා පාසල් ගොඩනැගිල්ලෙන් පිටතට එද්දීම ඔවුහු ඈ වටකරගත් නමුත් එදා දවසේ දෙවෙනි අමුතු සිද්ධිය සිදු වූයේ එවිටයි. වෙනදා පිරිමි ළමුන් කාට හෝ කරදර කරද්දී එතැනින් ඈත් වී එය නරඹන්නට පුරුදු වී සිටි ගැහැණු ළමෝ, එදා ඇල්මාට ඔවුන්ගෙන් ගුටි කෑමට ඉඩ නොතියා ඇගේ සහයට වහා වහා එහි දිව ගියහ. මීට ප්‍රධානම හේතුව වූයේ ඇල්මා අප ප්‍රිය කළ කෙනෙක් වීම වූ අතර වතුර එන ඒමේ වරප්‍රසාදය හදිසියේවත් අපට හිමි වුවහොත් ලැබෙන වාසි පිරිමි ළමුන් මෙන්ම අපද පැහැදිලිව දැක තිබීමත් මීට හේතු විය. මෙය ක්‍රියාත්මක වුවහොත් වරකට පැය භාගය බැගින් පාසලින් පිටව සිටීමටත්, වතුර රැගෙන ආපිට එද්දී රොස්වෙල් ගේ කඩයට රිංගන්නට ඉඩ ලැබීමටත් අමතරව මේ ගැන අපට වඩාත් තදින් දැනුණේ 'දැනෙන' යමක් කරන්නට ලැබීමේ නිලංකාරමය හැඟීමයි. 
 
මේ අදහසින් අප බෙහෙවින් මත් වී සිටි නිසාත්, අප ඔවුන්ට එරෙහි වේ යයි කොල්ලන් කිසිසේත් අපේක්ෂා නොකළ නිසාත් සුළු සීරීම් කිහිපයක් සහ ඉරුණු ස්ටෝකින්ග් කීපයක් සමඟ එදා අපට ඇල්මා ත් සමඟ ක්‍රීඩා පිටියෙන් පිටතට යා ගනු හැකි විය. අප කදු බෑවුම ඔස්සේ පහතට දිව එද්දී ආපසු හැරී බැලූ විට පිරිමි ළමුන් පිට්ටනිය මැද භයානක පොදියක් සේ එකතු වෙමින් සිටිනු දකිනු හැකි විය. 
 
ඒ සති අන්තයේදී අප කිසි කෙනෙක් මේ ගැන අපගේ දෙමව්පියන් ඉදිරියේ කතා නොකිරීමට ප්‍රවේශම් වූවත් එළඹෙන සතියේදී පාසලේ සිදුවිය හැකි දේ ගැන මිස වෙන කිසිවක් සිතන්නට අපට හැකි වූයේ නැත. 
 
සඳුදා පාසලේ උදෑසන විවේකයේදී පැහැදිලිව පෙනුණු ප්‍රධාන කාර්යය නම් සොෆ්ට්බෝල් ක්‍රීඩාවේදී පන්දු රැකීමට ගැහුණු ළමුන්ට ඉඩ නොදීමට පිරිමි ළමුන් තීරණය කර ඇති බවයි. අපගේ පාසලේ සොෆ්ට්බෝල් ක්‍රීඩා කෙරුණේ මෙලෙසයි. හැම සඳුදාකම අර්නි චැප්මන් හෝ ජුනියර් ලෙබ්ලාන්ක් වැනි හැදී දැඩි පිරිමි ළමුන් දෙදෙනෙකු ඒ සතියට තමන්ගේ කණ්ඩායම් තෝරාගත්හ. කණ්ඩායමක සෙල්ලම් කිරීමට තරම් හැකියාවක් ඇති හැම කෙනෙක්ම තෝරාගත් පසු මුලින්ම පන්දුවට පහර දෙන්නේ කුමන පිල දැයි තෝරා ගැනීමටත් ඔවුන් සතුව උපක්‍රමයක් විය. මේ සියල්ල අවසන් වූ පසු පන්දු රකින්නන් පිටියට යද්දී කණ්ඩායම් වෙනුවෙන් තෝරා නොගත් කුඩා පිරිමි ළමුන්ට සහ වැඩිමල් ගැහැනු ළමුන්ට ස්ථිර අවශේෂ පන්දු රකින්නන් ලෙස පිටියට යාමට වරම් ලැබිණි. සතිය පුරාම මේ කණ්ඩායම් නොවෙනස්ව පැවතුණු අතර එක් දිගු තරඟයක් විලසින් හැම විවේක කාලයකදීම මෙය ක්‍රියාත්මක විය. මේ තරඟය වෙනුවෙන් පාසලේදී සැකසුණු නීතිරීති ඉතාම අමුතු ඒවා බව අප හරියටම දැනගත්තේ පසුකාලීනව රූපවාහිනී යන්ත්‍ර කරලියට ආ පසුවයි. 
 
අපගේ සොෆ්ට්බෝල් නීතිරීති මෙසේ විය. එක කණ්ඩායමක සියලුම ක්‍රීඩකයන් සෙල්ලම් කර අවසන් වන තුරු අනෙත් කණ්ඩායමට ඊට වරම් ලැබෙන්නේ නැත. හෝම් රන් එකක් ලබාගත් ක්‍රීඩකයෙක්ට නැවතත් පන්දුවට පහර දීමට වරම් ලැබෙනවා පමණක් නොව තරඟයෙන් ඉවත් කර තිබුණු ඕනෑම ක්‍රීඩකයෙක්ව නැවත පිටියට ගෙන්වා ගැනීමටද වරම් ලැබේ. මේ නිසා තමන්ගේ හය වරක් චක්කරය පවා කට පාඩම් නැති සිසුන් බ්‍රහස්පතින්දාවක දහවල් වෙද්දී මෙවැනි නිවේදන නිකුත් කිරීම සාමාන්‍ය සිද්ධියක් විය. "දැන් ලකුණු තත්ත්වය 46ට 39. මේකට හේතුව අඟහරුවාදා දිවා විවේකයේදී ඇරඹුණු ඉනිමේ දී ජුනියර් ගේ කණ්ඩායමේ අර්වින් ස්නෙල් හැර හැම දෙනෙක්ම දැවී ගොස් තිබීමයි. අර්වින් එක දිගට හෝම් රන් තුනක් ලබාගත් නිසා ඔහුට අයිරේ, ජිම් සහ එල්ටන් ව නැවතත් පිටියට කැඳවා ගැනීමට අවස්ථාව ලැබුණි. ඔහුට කැඳවා ගනු නොහැකි වූයේ ගැහැණු ළමයෙක් ෆවුල් බෝලයක් අල්ලා ගැනීම නිසා බදාදා දෙවෙනි වරටත් දැවී ගිය ඔස්ටින්ව පමණි."
 
ඇතැම් දිනවල මේ තරඟ කෙතරම් උද්වේගකර වූයේ ද යත් දිවා විවේකයේදී කෑම කන්නටද අපට ඉස්පාසුවක් නැති විය. දිවා අහාරයට ගෙන ආ සැන්ඩ්විච් හපමින්ම පිටියට දුවන අප සිහින මවන්නේ කහ පැහැති තණ පිටිය හරහා හෝ වගුරු බිමට ඉහළින් වූ අහස දෙසින් අපගේ උනන්දු දෑත වෙත පන්දුවක් ළඟා වන මොහොත ගැනයි. 
 
මේ නිසා ඒ සඳුදා උදේ විවේකයේදී අර්නි චැප්මන් පිත්ත තම හිස වටා කරකවා, වැරෙන් බිම ඇන "පිට්ටනියට එක කෙල්ලෙක් හරි අඩිය තිබ්බොත් අපි ඒකිගේ බෙල්ල කඩනවා," යැයි නිවේදනය කිරීම අපට බලවත් පහරක් විය. ගැහැණු ළමුන් වෙනුවෙන් වෙන් කළ ගොඩනැගිල්ලේ පිවිසුම් දොරටුව අසලට කනස්සල්ලෙන් අප එක් රැස් වූයේ කළ හැකි කිසිවක් නොමැති බව දැනගෙනමය. 
 
"අයියෝ ඇල්මා," මිනි හැලිඩේ තම දුඹුරු පැහැති දිගු කොණ්ඩ කරල්වල කෙළවරවල් සපමින් අඳෝනා දෙන්නට විය. "ඔයාට කට පියාගෙන ඉන්න බැරි වුණානේ" එය දුක්මුසු මොහොතක් විය. අප පිටියට යන්නට තැත් කළා නම් කොල්ලන් ඉතා පහසුවෙන් අප එකිනෙකාව ඉවත් කරනු ඇත. අපට තනියම සොෆ්ට්බෝල් සෙල්ලම් කරන්නට හැකියාවක් නොවුණේ අප කිසිවෙක් සතුව පිත්තක් හෝ බෝලයක් නොතිබුණු බැවිනි. 
 
ඩොරිස් පොම්රෝයි නොසිටියානම් ඒ වෙලාවේම අපගේ එකමුතුකම බිඳෙන්නට ඉඩ තිබුණි. නමවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ඩොරිස් නිවසේදීම තම කොණ්ඩය මෝස්තර කර ගන්නා, ඇතැම් දිනවලදී නිය සායම් වුව තවරා සිටින කෙල්ලෙකි. ඇය එල්ටන් ලෝරන්ස් සමඟ තනිවම පිහිනීමට පවා ගොස් තිබුණු බවට ආරංචි විය. ගොඩනැගිල්ලේ බිත්තිය වෙත ගල් පහරක් එල්ල කළ ඩොරිස්, මිනි ගේ ප්‍රකාශයෙන් පසු එළැඹි නිහඬතාවය බිඳ අප සන්සුන් කළේ මෙසේ කියමිනි. "මෝඩ වෙන්න එපා මිනි, අපට තියෙන්නේ බලාගෙන ඉන්න විතරයි. පන්දු රකින්න එයාලාට අපිව ඕන වෙනවා. අනික එයාලා කැමතියි එයාලා සෙල්ලම් කරද්දී අපි පිට්ටනියේ ඉඳන් එයාලා දිහා බලාගෙන ඉන්නවට."
 
නමුත් ඒ සතිය බොහෝ දිගු,දුෂ්කර සතියක් විය. අපට පන්දු රකින්නට නොදීමට අමතරව පිරිමි ළමුන් හැකි හැම විටකදීම අපට කරදර සහ උසුළු විසුළු කළහ. අපට මෙසේ වධ දීමෙන් කොයි වෙලාවක හෝ අප මිස් රැල්ස්ටන් වෙත ගොස් අපගේ ඉල්ලීම අමතක කරන ලෙස ඉල්ලනු ඇතැයි ඔවුන් සිතන්නට ඇත. නමුත් ඔවුන්ගේ තර්ජන ගර්ජන ආදියෙන් සිදුවූයේ අප තව තවත් එකමුතු වීම පමණයි. පිරිමි ළමුන් කෙල්ලෙක් පය පටලවා වැට්ටවූ විට, නොඑසේ නම් තීන්ත පෙඟවූ කඩදාසි ගුලියක් හිසට එල්ල කළ විට, නැත්නම් වැසිකිලියකින් පිටතට ඒමට නොදී බලෙන් රඳවා ගත් විට අපට දැනුණේ එය අප හැම කෙනෙකුටම සිදු වූ බවකි. ආපසු හැරී ඒ සතිය ගැන සිතද්දී දැනෙන්නේ ඒ යහපත් මෙන්ම අයහපත් හැඟීම් පිරුණු කාලයක් බවයි. නමුත් ඉතිහාසයේ පළමු වතාවට එකිනෙකාගෙන් හාස්‍යයට ලක් වේ යැයි බියෙන් තොරව කෙල්ලන් තමන්ගේ කරදර සහ අදහස් ඔවුනොවුන් අතර බෙදාගන්නට පටන්ගෙන තිබිණි. මෙය අපේ පාසලට අලුත් දෙයක් විය. 
 
දිගින් දිගටම තර්ජනාත්මක පණිවිඩ ලියූ කොළ කැබලි ඇල්මාගේ ඩෙස්කුව මතට වීසි කෙරෙන්නට විය. ඇගේ නහය කඩා දමන බවට ලියූ තර්ජනවල සිට ඇගේ පාසල් නිල ඇඳුම ගලවා ඇයව නිරුවත් කර දමන බවට ලියූ පොරොන්දු දක්වා මේවා විහිදී තිබිණි. මේ හැම අතර අපි ඇය ළඟින් නොසෙල්වී ම සිටියෙමු. නමුත් ඇල්මාට මුහුණ දීමට දුෂ්කරම මොහොත එළඹියේ මේ කරදරවල ස්වරූපයෙන් නොවේ. ඒ, බදාදා හවස් වරුවේ ඇගේ ඥාති සොයුරෙක් වන ආනොල්ඩ් පැමිණ ගැහැණු ළමුන් වතුර ගෙන ඒමට ඉල්ලූ අදහස ඉවත් කරගන්නා ලෙස ඇගෙන් ඉල්ලා සිටි මොහොතයි. 
 
"එයාලාට මේක ආරංචි වුණොත් ඇල්මා," ආනෝල්ඩ් කීවේය. "එයාලා වතුර පනිට්ටුව ආපිට ගනී."
 
"කවුද එයාලා?" ඇල්මා විමසුවාය. ආනෝල්ඩ් සමඟ කුඩා කල සිට සෙල්ලම් කරමින් එකට හැදී වැඩී තිබුණු ඇය බොහෝ දේවල් ගැන ඔහුගේ අදහසට සවන් දෙන්නට පුරුදුව සිටියාය.
 
"මේ..මේ.. සෞඛ්‍ය පරීක්ෂක," ඔහු කීය. "ඒ වගේ අය."
 
"එයාලා කවදාවත් පනිට්ටුව ආපිට ගන්නේ නැහැ," ඇල්මා කීවත් ඇයටද ඒ ගැන වැඩි විශ්වාසයක් තිබුණේ නැත. "වතුර කොහොම හරි ගේනවා නම් ගේන්නේ කවුද කියන එක එයාලාට වැදගත් නැහැ."
 
"ඇල්මා," ආනෝල්ඩ් උනන්දුවෙන් කීය. "මම මේක කීව බව දැනගත්තොත් අනිත් කොල්ලෝ මාව මරයි, ඒත් ඇත්තටම නම් වතුර ගේන වැඩේ ඒ තරම් විනෝද වැඩක් නෙමෙයි. සීතල දවස්වලට ඒක හරිම කරදර වැඩක්. උණුසුම් පන්ති කාමරයට වෙලා ඉන්න එක ඔයාලාට ඊට වඩා ගුණයි."
 
මෙවැන්නක් කීමට ආනෝල්ඩ් ට කෙතරම් දුෂ්කර වන්නට ඇත්දැයි ඇල්මා දැන සිටි නමුත් ඈ තම ස්ථාවරය වෙනස් කළේ නැත. "මට සමාවෙන්න ආනෝල්ඩ්," ඈ කීවාය. "මට හීතල හොඳට පුරුදුයි. හීතල කාලෙට මම ඔයා වගේම ඉස්කෝලෙට පයින් නේ එන්නේ." 
මෙය අසා ආනෝල්ඩ් යන්නට ගියේය. 
 
මේ සතිය ගත වෙද්දී පන්ති කාමරයේ සිදු වූ අමුතු සිදුවීම් මිස් රැල්ස්ටන් දුටුවානම්, ඇය ඒ බවක් පෙන්වූයේ නැත. ඇය තීන්ත පෙඟවූ කඩදාසි ගුලි වීසි කිරීම වෙනුවෙන් ලැබෙන සාමාන්‍ය දඬුවම් ලබාදුන් අතර තර්ජනාත්මක දේ ලියු කොළ කැබලි නොකියවාම ඉරා දැමුවාය. සුදුමැලි ව තිබුණු ඇල්මා ගේ මුහුණ දෙස බැලූ ඇය ඇසුවේ යුරෝපයේ ප්‍රධාන ගංගා නම් කරන්නට පමණි. මේ ගැන අපට පුදුමයක් දැනුණේ නැත. ළමුන්ගේ ජීවිත වල සිදුවෙන දේ ගැන වැඩිහිටියන්ට සුළු අදහසක් හෝ ඇති බවට අපට පෙර කිසිම අත්දැකීමක් ලැබී තිබුණේ නැත.
 
නමුත් මේ ගැන වෙනස් අදහසක් දැරුවේ ඩොරිස් පොම්රෝයි පමණි. 
"මිස් රැල්ස්ටන්ට හොඳටම කේන්ති ගිහින් වගේ පේන්නේ." සිකුරාදා උදෑසන විවේකයෙන් පසු අප මහත් සැනසීමෙන් පන්තිය තුළට එද්දී ඈ කීවාය. 
 
"කේන්තියි?" කීපදෙනෙක්ගෙන් ප්‍රශ්න නැඟිනි.
 
"ඔව්, මිස් සීනුව ගහන්න එළියට එද්දී දකිනවානේ අපි බය වෙච්ච කිකිලියෝ ටිකක් වගේ දොර ළඟ රොක්වෙලා ඉන්නවා. ඒ වෙලාවට එයා සීනුව ගහන්නේ ඔය කෑගහන කොල්ලන්ගේ ඔලුවට සීනුවෙන් ගහනවා වගේ වේගෙන්. කොහොමත් මිස් ගේ ගම් පළාත වන රිවර් හිබට් පැත්තේ දේවල් කෙරෙන්නේ වෙනස් විදිහටනේ. මම හොඳටම දන්නවා එහේ සොෆ්ට්බෝල් කණ්ඩායම් වලට ගෑනු ළමයිනුත් ගන්න බව."
 
"කණ්ඩායම් වලට? පිරිමි ළමයි වගේම ගෑනු ළමයිනුත් ගන්නවා?" මෙය අපට අදහාගත නොහැකි දෙයක් විය. නමුත් එදින හවස් වරුවේ වතුර ගෙන ඒම ගැන තීන්දුව ලැබෙන්නට නියමිතව තිබුණු නිසා එවැනි දේ ගැන සිතන්නට අපට ඉස්පාසුවක් තිබුනේ නැත. ඒ දුෂ්කර සතිය පුරාවටම සිකුරාදා හවස් වරුවත් කනිෂ්ඨ රතු කුරුස සංගමයට නියමිත වෙලාවත් එළඹෙන්නට බොහෝ පමා බවක් අපට දැනුණි. එහෙත් දැන් ඒ මොහොත එළඹෙන්නට ආසන්න ව තිබුණු නිසා ඩොරිස් සොෆ්ට්බෝල් කණ්ඩායම් ගැන කී දේ ගැන වැඩි දෙනෙක්ට නිනව්වක් නොවිණි.
 
ඒ දිවා විවේකයේදී පිරිමි ළමුන් සතියේ සොෆ්ට්බෝල් තරඟය අවසන් කරමින් සිටියදී ('කෙල්ලෝ නැතිව මරු නේද?' අර්නි චැප්මන් පන්දු යවන තැන සිට මහා හඬින් පාරම්බාමින් සිටියේය) මිස් රැල්ස්ටන් තම සීනුව රහිතව පැමිණ, තැන තැන කණ්ඩායම් ගැසී සිටි අප අතරින් රිංගා කෙළින්ම පිට්ටනිය වෙත යනු දුටු විට අපට අදහාගනු නොහැකි විය. ඇගේ දිලිසෙන රත් පැහැ පාවහන් බොරළු මතින් යද්දී 'කරස්, කරස්' සද්දයක් නැඟුණි. අප පුදුමයෙන් බලා සිටිද්දී ඈ අර්වින් ස්නෙල්ගෙන් පිත්තක් උදුරාගෙන, ඉර එළියට දෑස් මුවාකරගනිමින්, පිත්ත කරකවමින් පන්දුවට සැරසෙන්නට වූවා ය.
 
"කමෝන්, කමෝන්!" පන්දු යවන තැන තුෂ්නිම්භූතව සිටගෙන සිටි අර්නිට රැල්ස්ටන් මෙනවිය කෑ ගැසුවාය. "කමෝන්! කමෝන්" ආ නැවත කෑ ගැසුවේ පිත්ත බිම වද්දමිනි.
 
"කමෝන්, කමෝන්!" බොරළු මතින් පිට්ටනිය වෙත දිව යමින් සිටි අප අතර සිටි ඩොරිස් පොම්රෝයි කෑ ගැසුවාය. අර්නි එවූ පළමු පන්දුව දුර්වල ෆවුල් බෝලයක් වූ අතර ඊට රැල්ස්ටන් මෙනවිය පැත්තට දුන් පහර නිසා එය කෙලින්ම ජෝජ් ෆවුලර් දිගුකරගෙන සිටි දෑත මටම වැටුණි. "අයියෝ!," නරඹමින් සිටි අප විලාප දෙන්නට වූ අතර සමහරෙක් දෑස් පියාගත්තේ මේ දසුන නොදකින්නයි. නමුත් මේ පහසු පන්දුව අල්ලා ගැනීමට උනන්දු වැඩි වූ ජෝජ් ඉදිරියට පැනීම නිසා එය ඔහුගේ ඇඟිලි අතරින් ලිස්සා ගොස් කිසිම හානියක් සිදු නොකර බිමට වැටුණි.
 
අර්නි තම දෙවෙනි පන්දුවට පෙරදීට වඩා වෙලාව ගත්තේය. තමන්ගේ පන්දුවට පහර දීමට තමා ඉදිරියෙන් මි රැල්ස්ටන් සිටීමේ තිගැස්ම මේ වෙද්දී වියැකෙමින් තිබුණු අතර පිටිය දස අතින් ඔහුව දිරි ගැන්වෙන වදන් ඇසෙමින් තිබිණි.
 
"පාඩමක් උගන්නන්න! අවුට් කරන්න!" පිටිය පුරා විහිදී පන්දු රකින්නට සැරසෙමින් සිටි කොල්ලෝ නොසැලකිල්ලෙන් කෑගසමින් සිටියහ. අර්නි ප්‍රවේසමෙන් එල්ලය ගත්තේය. මේ වෙද්දී අප වෘත්තිමය ක්‍රීඩකයන් පන්දු යවද්දී පෙන්වන පෙර සූදානම දැක තිබුණේ නැත. නමුත් එදා අර්නි පන්දුවට වියරුවෙන් මෙන් කෙළ ගසා, මිස් රැල්ස්ටන් වෙත රවා බලා, තම විශාල බාහුව පසුපසට ගෙන, තම මුළු සිරුරම දිග ඇදී තිබෙන ලෙස මඳක් නිසොල්මන්ව හිඳ, තම මුළු වැර යොදා පිත්ත වෙත පන්දුව දමාගැසීමේ කිසියම් අපූරු උත්කර්ෂවත් බවක් තිබුණු බව අපටද පෙනුණි. 
 
එක තත්පරයකට රිවර් හිබට් නගරයේ ජීවිතය කෙබඳු වන්නට ඇත්දැයි යන්න අපට දර්ශනය විය. ඉනික්බිති මිස් රැල්ස්ටන් පන්දුවට පහර දුන්නාය. 
 
"ආ....!" 
 
පන්දුව ඉතා ඉහලින් ඇදී ගොස්, වගුරු බිම හරහා එන සුළඟේ දැවටී, ඉරට ඉදිරියෙන් කුරුල්ලෙක් මෙන් පියාසර කර, මාර්ගයටද එපිටින් වූ තණ පිටියට වැටී නොපෙනී ගියේය. 
 
ආ...!"
 
අපි දෑස් දල්වාගෙන මිස් රැල්ස්ටන් දෙස බලා සිටියෙමු. 
 
හැරී යමින් සිටි ඈ "ඉස්කෝලේ පටන් ගන්න වෙලාව හරි," කියාගෙනම යන්නට ගියාය. මෙලෙස පාරෙන් ඔබ්බෙහි වූ තණ පිටියට පන්දුව පහරදීම වසරකට වරක් පමණ කලාතුරකින් සිදු වූ දෙයක් විය.
 
ඒ හවස් වරුවේ රතු කුරුස සංගමයේ වැඩ අවසාන වෙද්දී පන්ති කාමරය පුරා නිහඬතාවයක් පැතිරිණි.
 
"ලබන සතියේ," තම පොත්පත් පිළිවෙල කරමින්, පන්තියේ නම් පොත වසා දමමින්ම මිස් රැල්ස්ටන් නිවේදනය කළාය. "ලබන සතියේ වතුර ගේන්න යන්නේ ඇල්මා නයිල්ස් සහ ජොයිස් ශිප්ලි."
 
ඈ තම අතින් මේසය පිස දමද්දී විසිරුණු දූවිලි අංශු, පන්ති කාමරයට විසිරුණු බැසයන හිරු එළියෙන් දිලිසෙන්නට විය. 


Nissanka Rajapaksa

unread,
Aug 25, 2024, 7:49:41 PM8/25/24
to INDRAKA group
47
පිළිස්සුම් රෝගියා

- සඳිනි තෙන්නකෝන් 
 

වේලාව සවස හතරයි තිහට ආසන්න වී තිබුණි. දහවලෙහි වූ අධික උණුසුම ඒ වන විටත් පහව ගොස් තිබුණේ නැත.

උණුසුමත් තුනේ බෙහෙත් වේලේ බෙහෙත් මතත් නිසා බොහෝ රෝගීන් නින්දට ගොස් සිටි හෙයින් පහේ වාට්ටුවේ වූයේ දැඩි නිහඬබවකි.

ගිලන් ඇඳ මත වාඩි වී, නවාගත් දණ මත තබාගත් අතින් යුතුව පිළිස්සුම් රෝගියා බලා සිටියේ ය. සැන්දෑ හිරු රැුසින් එළිය වූ කොළ පැහැ අඩ බිත්ති සහ ඇඟිලි සලකුණු කිලිටි ලකුණෙන් යුතු සුදු කුළුණුත්, කොරිඩෝරයට එහායින් වූ කණ්ඩිය කැපූ තැනත්, එහි වවා තිබුණු රෝස පඳුරුත්, ඊට පහළින් වූ පිට්ටනියත් පසුකර ඈත දුරින් පෙනෙන වියලි කඳු දක්වා ඔහුගේ ඒ බැල්ම විහිදී තිබුණි.

ඔහුට ගෙදර සිහි විය. ”අදට දහ දවසයි..” ඔහු සිතුවේය. ”ගෙදර තාම දන්නේ නෑ..”

ඔහු පිළිස්සුණු හැටි සිහි කළේ ය. ආප්ප තාච්චිය රත් කළ භූමිතෙල් ලිපේ ගින්දර මුහුණට විද්ද ආකාරයත්, ඇස් නිලංකාර වූ හැටි සහ දැවිල්ලත්, පුළුටු ගඳත් ඔහුට සිහි විය. ”චෝව්! චෝව්! චෝව්!” යනුවෙන් දෙමළ කඬේ මුදලාලි කෑගැසූ අයුරුත්, ආප්ප බානා තෙක් බංකුවේ වාඩි වී බලා සිටි පිරිසගේ බිය පත් මුහුණුත් ඔහුගේ සිහියට ආවේ ය.

වේදනාව නිසා ඇස් කිටි කිටියේ පියව යන විට, මුහුණට එබුණු රැුවුල්කාරයාගේ මුහුණේ ඉන්නෙකු විය.

කන් අගුල් වට්ටන ”සෝ” හඬකින් අවට කලබලය යටපත් වනු ඔහුට ඇසිනි. තමා ක්ලාන්ත වීමට ගියේ මස් කරවුණු පුළුටු ගඳ නිසා මිස වේදනාව නිසා නොවන බව ඔහුට සිතුණි.
මස් පිළිස්සෙන පුළුටු ගඳ, ඒ මොහොතේ දැනුණු අයුරින් ම ඔහුට සිහි විය. ඔහුට බඩවැල් නටන්නාක් බඳු හැඟීමක් ඇති විය.

ඔහු එය අමතක කරන්නට උත්සාහ කළේ ය. එය සිහිවන හැම විටෙකම වාගේ මෙන්, මෙවෙලේත් ඔහුගේ අතැඟිලි තුඩු, තවමත් යන්තමට අමු තුවාල කබොල මත දැවටිණි. තමා ගේ මුහුණ දැන් කුමන අයුරින් පෙනෙනවා ඇත්දැයි ඔහු සිතුවේ ය.
පිළිස්සුණු සමේ රළුව අතට දැනෙත්දී ඔහු ගේ අතැඟිලි පිළිකුලෙන් පහතට වැටුණේ ය.
මුහුණ විරූපිව ඇති ඔහුට සිතුණි.

ඔහුගේ දෑසට කණාටු රෝස ගස්වල පිපී තිබූ මල් හසු විය.
දැන් කිසිදු කෙල්ලක තමා හට කැමති නො වෙතියි ඔහුට සිතිණි.

ඔහුට ඇගේ එළලූ පැහැ මුහුණ සිහි විය. වාට්ටුවේ කෙළවර බිත්තියේ ඔරලෝසුව දෙස ඔහුට බැලූණේ ඉබේටම ය.

වෙලාව පහ ට පහ ලෙස දැක්වුණි.

”තව වෙලා තියෙනවා.” ඔහු තමාටම කියා ගත්තේ ය. ඊළඟ බෙහෙත් වේල දෙන්නේ හයට ය.

තව ස්වල්ප වෙලාවකින්, නේවාසික රෝගීන් බැලීමට පිරිස පැමිණෙනු ඇත.

”ගෙදර තාම දන්නේ නෑ..” ඔහුට මතක් විය.

ඔහුගේ මුහුණට ඇය එබෙන ආකාරයත්, ඇගේ නැහැ පුඩු වලින් පිටවන හුස්ම, තම උඩු තොලේ වදින අයුරුත් ඔහු සිහි කළේ ය. ඇගේ මෘදු ඇඟිලි තුඩු, ඔහුගේ තුවාල කබොල සීරුවට අල්ලා බෙහෙත් ගල්වන ආකාරයේ ඇත්තේ ද, වෙන රෝගීන්ට නො දක්වන දයාර්ද්‍ර බවකැයි ඔහුට සිතී තිබුණි. බෙහෙත් ගලවන ගමන් ඇය රිදෙනවා දැයි අසා නිහඬ වන්නේ, ”අනේ.. රිදෙනවාද?.. මම හෙමින් බෙහෙත් ගාන්නම්..” යයි අනෙක් රෝගීන් ඉන්න තැන කීමට බැරි නිසා යයි ඔහු සිතුවේ ය.

පැමිණි දෙවැනි දවසේ, ගෙදරට දන්වන්න ඕනෑ නේදැයි අසන ගමන්, ”ඔයා බැඳලා ද?” යයි ඇය ඇසූ අයුරු ඔහු සිහි කළේ ය.

තවත් කාලයක් තමන්ට රෝහලේ රැුඳී සිටීමට වනු ඇතැයි ඔහුට සිතුණි.

ඇගේ නම ඇසීමට ඔහු තුළ වූ තදබල ආශාව මැඩ ගැනුණේ ලජ්ජාවකිනි. මොකක්දෝ හීන මාන පසුබෑමකිනි.

වාට්ටුවේ ලෑලි පටි බාග දොර හැරුණි. අනෙකුත් නේවාසික රෝගීන් බැලීමට පිරිස පැමිණෙමින් සිටියහ.

”අදට දහ දවසයි…” ඔහු සිතුවේය. ”ගෙදර තාම දන්නේ නෑ..”

ඇය නො සිටින්නට මේ දහ දවස ගෙවීම එතරම් ලේසි නො වන්නට තිබුණි.

————————————————————————————————

අන්තිමේදී ඊළඟ බෙහෙත් වේලත් රැුගෙන ඇය පැමිණෙන විට, ඔහු සිටියේ සිටි ඉරියව්වෙන් ම කිරා වැටෙමිනි. හිරු තව දුරටත් බැස ගොස් තිබුණු අතර, වාට්ටුවේ කෙටි බිත්තිවල දිගා වී සිටි කළු හෙවණැලි, වාට්ටුවෙන් පිටත බිම පත බෑවෙමින් සිටියහ.
මලානික සුදු එළිය පතුරවමින්, වාට්ටුවේ ලයිට් පොලූ දැල්වී තිබුණි.

වාට්ටුවේ නේවාසිකයන්ට පිළිවෙළින් බෙහෙත් වේල් දෙමින්, ඇය ඔහු ගේ අසලට පැමිණ බාහුවට අත තැබුවා ය. ඔහු තිගැස්සී ඇහැරුණේ ය.

”බය වුණාද?” ඇය ඇසුවේ සිනාසෙමිනි.

ඔහු ද සිනාසුණේ ය. අවුල් වූ කෙස්ස, ඇඟිලි තුඩු පනා පහරකින් පිළිවෙල කරගැනීමට අත හිස කරා ගියේ ද ඉබේට ම ය.

ඇගේ රවුම් මුහුණත්, වටකුරු ගෙලත්, නෙරූ ලැමත් අඩ අඳුරේ පෙනුණේ පින්සලයකින් ඇන්දාක් මෙනි.

”බලමු තුවාලේ..” ඇය කීවේ ඔහුගේ මුහුණ නිකටින් අල්ලා විදුලි ආලෝකය දෙසට හරවමිනි. ඇගේ ඇඟිලි තුඩුවල ස්පර්ශය විඳිමින් ඔහු ඇස් පියා ගත්තේ ය.

”දැන් හොඳයි නේ…” ඇය කීවේ තුවාල කබොල මත ආලේපයක් තවරමිනි. පුරුද්දට මෙන් වේදනාත්මක ඉරියව්වක් මවමින් ඔහුගේ මුහුණේ මස් පිඬු ඇකිලිණි.

”දැන් හොඳයි… ඔය බොරු කරන්නේ.. රිදෙන්න විදියක් නෑ” ඇය කීවේ ඇස් නටවමිනි. ඔහු ඇගේ මුහුණ දෙස බැලූවේ ය. ඇය පිටිපසින්, ඉහලින් වූ විදුලි එළිය දුන් අසීරුවෙන්, ඔහුගේ දෑස් පුංචි වී ය.

”මිසී…” ඔහු ඇය ඇමතුවේ ය. ”මට කවද විතර ගෙදර යන්න පුළුවන් ද මිසී?”

”අපි දොස්තර මහත්තය ආවම අහමු..” ඇය කීවේ, ඉහ ඉද්දර කනප්පුව මත වූ වීදුරුවට වතුර පුරවමිනි. ”ඇයි.. ගමේ ගෑනු ළමය බලන් ඉන්නවද?”

”අපෝ නෑ..” ඔහු වහා ම කීවේ ය. තමාට අහන්නට ඕනෑ වූයේ ඇගේ නම වුවත් කියවුනේ අනෙකක් බව කීමට ඔහුට ඕනෑ වීය.

බෙහෙත් පෙති දෙක ඇගේ අත්ලෙන් ඔහුගේ අත්ලටත්, ඉනික්බිති ඔහුගේ මුවටත් වශයෙන් මාරු විය.

”දොස්තර මහත්තය ආවම අහමු. කොහොමටත් තව දවසකට දෙහෙකට වඩා ඉන්න වෙන්නේ නෑ..” ඇය කීවේ ඊළඟ රෝගියා කරා යාමට සැරසෙමිනි.

”අනේ ඩිංගක් ඉන්ඩකෝ..” යනුවෙන් කීමට ඔහු තුළ වූ උවමනාව ද සමඟින් බෙහෙත් පෙති උගුරෙන් පහළට බැස්සේ ය.

”මිසී…”
ඇය ආපසු හැරී බැලූවා ය.

”මිසීගේ නම මොකක්ද?”

”මොකටද?..” ඇය පෙරළා ඔහුගෙන් ඇසුවා ය.

”මිසී වගේමයි මගේ නංගිත්..” ඔහු කිවේ ය.

”නංගිගේ නම මොකක්ද?” ඇය ඇසුවේ සිනාසෙමිනි.

”චාන්දනී..” ඔහු කටට ආවක් කීවේ ය.

”මගේ නම නාමලී ..”

තමන්ට නැගණියක් නැති බව ඉක්බිති ඔහු සිහි කළේ ය. සිටියද තමන් උපන් පරිසරය අනුව ඇය ට රංජනී, සුසිලා වැනි නමක් විනා චාන්දනී වැනි නමක් හිමි නො වෙතැයි ඔහු දැන සිටියේ ය.

ඒ නම් ද ඒ පරිසරය තුළ, රංජනියා, සුසිලෝ ආදී ලෙස තැලී පොඩිවී බෙලෙක්ක වී යනු ඇත.

ඇය ඊළඟ රෝගියා වෙත ට යනයුරුත්, අවසාන රෝගියා දක්වාම පිළිවෙළින් ගොස් වාට්ටුවෙන් නික්ම යන අයුරුත් ඔහු බලා සිටියේ ය.
————————————————————————————————
එදා ? ඔහුට වෙනදාටත් වඩා නිදි නැති රාත‍්‍රියක් විය.

කඬේ රේඩියෝවේ නිතර වාදනය වන මගේ නාමලී ගීතය ඔහු සිහිපත් කළේ ය.
නාමලී එක්ක සුරියවැව යන්නට ඕනෑ යයි ඔහුට සිතුණි.

නාමලී සහ ඔහු මනාල යුවලක් ලෙසට සූරියවැව යන අයුරු ඔහු සිතින් මවාගත්තේ ය.

ගමේ ගැහැනුන් ගේ රබන් සද්දය අසමින් දෙපස එරමිණියා ගාලින් යුතු දුවිලි වැකි ගුරු පාර දිගේ සෙමින් යන ගෙම්බා කාරයත්, ඒ පසුපස සහ දෙපස එල්ලී, කාර් රියත් සමඟම දිව යන ගමේ කොල්ලන් ?නත් ඔහුට මැවී පෙනුණි.

ඔහු තමා සමීපයේ වාඩිගෙන සිටින, මනාලි වෙස් ගත් නාමලිගේ අතක් ගෙන තම කලවය මත තබාගත්තේ ය.
නාමලී ඔහු දෙස කෝල බැල්මක් හෙලූවා ය.

කාරය ගුරු පාර දිගේ දුහුවිල්ල කාගෙන ගොස් අන්දර වැට අසල නැවතුණි. සමර ගා ටකරම් හෙවිලිකළ නිවාස ඉදිරියේ ආයිත්තම් වූ නෑසියන් පෙරටුවේ ළමා සාරිවලින් සැරසුණු බාලිකාවන් සිවු දෙනෙකු විය.
වසර කිහිපයකට පෙර පරලොව ගිය අම්මා සුදු මල් දැමූ වතුර වීදුරුවක් ද අතින් ගෙන ඉදිරියෙන් ම සිටිණු ඔහු දුටුවේ ය.

රතිඥ්ඥා පුපුරන්නට විය.

කාරයේ රියදුරා වහාම රියෙන් බැස ඔහු සිටි පැත්තේ දොර විවර කළේ ය.

වෙඩි බෙහෙත් සුවඳ දසත පැතිරුණි.

ඔහුගේ කලවය මත වූ නාමලිගේ අත කෙමෙන් දැඩිවනු ඔහුට දැනුණි.

වෙඩි බෙහෙත් සුවඳ මස් පිළිස්සෙන පුළුටු ගඳකට හැරුණේ ය. මුහුණ පිළිස්සෙණු ඔහුට දැනුණි.

ඔහුගේ කලවය මත වූ නාමලීගේ අත ක්ෂණයකින් ඉවත්විය.

නාමලී කාරයේ දොර හැරගෙන ගුරැු පාර දිගේ ආපසු දුවන්නට වුවා ය. නාමලී නැවත්වීමට උත්සාහ කළ ඔහුට, කාරයේ බිම වැටී තිබූ මල් කළඹ පෑගුණි.

නෑසියන්ගේ කුහුලෙන් පිරුණු මුහුණුත්, වික්ෂිප්ත රියදුරාත් ඔහුගේ දෙනෙතට හසුවිය.
ක්ෂණයකින් රියදුරාගේ මුහුණ වෙනස්වී, දෙමළ කඬේ මුදලාලිගේ මුහුණ එතනින් මතුවිය.

ඔහු තිගැස්සී ඇහැරුණේ ය.

වාට්ටුවෙන් පිටත අරුණාලෝකය පැතිරෙමින් තිබුණි.
————————————————————————————————
වෛද්‍යවරයාගේ ඇඟිලිවලින් ඔසවන ලද නිකටින් යුතුව ඔහු, පරීක්ෂණ කාමරයේ වහලය දෙස බලා හුන්නේ ය.

ගිනි දවාලෙත් නිරිවස්ත‍්‍ර විදුලි බුබුලක් සුදු එළිය විහිදුවමින් දැල්වෙමින් තිබුණි. කොහොමත් හොඳින් එළිය වී තිබූ ඒ කාමරයේ විදුලි බුබුලේ ආලෝකය තිබුණේ නිනව් නැතිවය

”මේ බෙහෙත් දිගටම බොන්න.. ටික කාලයක් යනකම් අව්වට නොයා ඉන්න එක තමයි හොඳ..”

වෛද්‍යවරයා ඔහුගේ නිකට අතහැර තුණ්ඩුවක යමක් කුරුටු ගෑවේ ය.

”දැන් කෙළින්ම ගෙදර ද යන්නේ.. ?”

ගෙදර…. ඔහුට ගෙදර සිහි විය. කාස රෝගයෙන් හූරණ ලද පපුවෙන් යුතු තාත්තාත්, කසාද නො බැඳි අක්කාත්, ටකරම් හිල් වූ වහලත්, මැරෙන්නට පන අදින ගොනාත් මතකයට ආවේ ය.

”ඔව් මහත්තය… දෙකේ බස් එකේ යනවා සූරියවැව…”

”හ්ම්… මාසෙකින් එහෙ ඉස්පිරිතාලෙට පෙන්නන්න…”

”මහත්තය..” ඇසීමට තිබූ වැදගත් ම ප‍්‍රශ්නය ඊළඟට ඔහු ඇසුවේ ය.

”මේ කැළල දිගටම තියෙයි ද මහත්තය..?”

වෛද්‍යවරයා හිස ඔසවා ඔහු දෙස බැලූවේය. හකුපාඩා මතුවූ මුහුණත්, අපිළිවෙලට වැවුණු කණාටු රැුවුලත් වෛද්‍යවරයාගේ දෙනෙතට හසුවිය.

”කැළල… හ්ම්… කැළල නේද ?” ඔහු රෝගියාගේ මුහුණේ වම්පස හරවා යළිත්, වියළී ගිය තුවාල කබොල්ල බැලූවේ ය. වම් ඇසත්, නාසයත් අසල සිට නිකට ආසන්නයට ම පැතිරී ගිය රැුළි ගැසුණු සම් කැටිය දෙස බලා නළල රැුළි කරගත්තේ ය.

”කැළල නේද?… අපි බලමු..”

ඉනික්බිති ”දැන් යන්න පුළුවන්..” කියන්නට මෙන් හිස සැලූවේ ය.

නාමලී ඈත කොනක වූ මේසයක් අසල වාඩිවී යමක් ලියමින් සිටිනු රෝගියාගේ දෑසට හසුවිය. තමා යන බව කියූ විට ඇයට දුක හිතෙනු ඇතැයි දුකක් මෙන් ම සතුටක් ද ඔහුගේ සිතේ ඇඳී ගියේ ය.
————————————————————————————————
රෝහලට ගෙන ආ ඇඳුම් කැඩුම් අතුරින් හොඳ යයි කිවිය හැකි සරමක් හා කහ ගැහුණු කහ පැහැති කමිසයක් ඇඳගත් රෝගියා, පහේ වාට්ටුව දිගේ ඇවිද ආවේ ය.

ඉතිරි රෙදි පෙරෙදි වූ ඉටි කවරය තිබුණේ කිහිල්ලේ ය.

වතුර ගා පිරිමැද පීරා පිළිවෙලක් කළ කෙස්ස දිලිසෙමින් තිබුණි.

නේවාසිකව සිටි එකොළොස් දවසට යන්තම් දැන හැඳිනිකම් ඇතිකරගත් දෙපස ඇඳන් දෙකේ සිටි රෝගීන් දෙදෙනාගෙන් තවමත් නේවාසිකව සිටි රෝගියාට ඔහු සමු දුන්නේ ය.

”ආයේ කෙළින් ම ගෙදර..?”

ඔහු එසේ බව කියන්නට හිස වැනුවේය.

”යන්නම්….”

”මදැයි ඔයින් ගියා..” වකුගඩු අමාරුකාරයා තමන් ගේ සැත්කම් කැළල අතගාමින් ඔහු දෙස බලා සිටියේ ය.
————————————————————————————————

පහේ වාට්ටුව කෙළවර, කෙටි බිත්තියකින් වෙන්කළ කාමරයේ මේසයක් අසල වාඩිවී, නාමලී යමක් ලියමින් හුන්නා ය. ඇය අසල සිටි අනෙක් තුරුණු හෙදිය බෙහෙත් ලේබල කියවමින් සිටියා ය.

ඔහු මොහොතක් ඔවුන් දෙස බලා සිටියේ ය. නිකට පපුවට බර කරන් සිටි ඇගේ මුහුණ වඩාත් රවුම් සහ මටසිළුටුවට ඔහුට පෙනුණි.
ඇගේ දෙතොල් තරව පියවුණු ගමන් විය.

ඔහු හදවතින් වැළඳගන්නට මෙන් ඇය දෙස බලා සිටියේ ය.

තව ටික දිනක් හෝ රෝහලේ ඉන්නට තිබුණා නම් යයි ඔහුට සිතුණි.

අනෙක් තුරුණු හෙදිය හිස ඔසවා තමන් දෙස බලා සිටින බව ඔහුට වැටහුණේ ටික වෙලාවකට පසුවය.

බෙහෙත් ලේබල කියවීම නතර වූ හෙයින් නාමලී ද හිස ඔසවා බැලූවා ය. කතා කිරීමට වචන සොයමින් ඔහු වියළුණු උගුර තෙමෙන්නට කෙළ තලියක් ගිල්ලේ ය.

”මිසී…”

”ඔව්…?” ඇය ප‍්‍රශ්නාර්ථ බැල්මෙන් බලා සිටියා ය.

” මිසී..” තමන් යන බව කියන්නට වචන ගලපමින් ඔහු තව මොහොතක් තාවර වුණේ ය. ඇයට දුක නොහිතෙන සේ යන බව කියන්නට ඔහුට ඕනෑ විය.

”මගේ ටිකට් කැපුවා… මං යන්නයි කියල…” ඔහු හැකි උපරිම ප‍්‍රසන්නතාවයට මුහුණ පත්වෙන සේ සිනාසුනේ ය.

”ආ..”ඇය සිනාසුනා ය .

”හොඳයි.. හොඳයි… එහෙනම් යන්නකෝ.. ආයේ පුච්චන් එහෙම මෙහෙ එනවා නෙමෙයි.. ”

ඔහු ගල් ගැසී බලා සිටියේ ය. ඔන්චිල්ලාවක ඉහළ ගොස් යළි පහළ එනවිට දැනෙන හිස් බව ඔහුගේ කුසට දැනුණි.

”හා හරි එහෙනම් යන්න.. ”

ඇය යළිත් කීවා ය.

ජලය පිරි කලයක් බිම අතහැරි බිඳී විසිර යන්නාක් මෙන් ඔහු බිඳී විසිරි ගියේය.

අර අමුතු හිස්කම බඬේ සිට පපුවට පැතිරෙද්දී ඔහු ආපසු හැරුණේ ය.
————————————————————————————————
කොරිඩෝරයෙන් පිටත ගිනි අව්ව විසින් දවමින් තිබුණි.

කණාටු රෝස ගස් අතරින් පෙනෙන වාට්ටුව දෙස යළිත් ඔහු හැරී බැලූවේය.

නාමලීව එතනට පෙනුණේ නැත.

හිස තවන ගිනි අව්වෙන් මුවා වන්නට, ඇඳුම් කැඩුම් වූ ඉටි කවරය සහිත අතෙන් හිස මුවා කරගනිමින් ඔහු පිට්ටනිය හරහා ඇවිද ගියේ ය.

”එයාට තව ලෙඩෙක් හම්බවෙයි.” ඔහු නාමලී ගැන සිතුවේ ය. ”නර්ස්ල ඉන්නේ ලෙඞ්ඩු බලන්න තමයි..”

”කැළල….” ඔහු ඊළඟට සිතුවේ ය. ”ගෙදර ගිහින් ගොඩ වෙදකම් කරල මකා ගන්නවා….”


Nissanka Rajapaksa

unread,
Aug 26, 2024, 9:11:17 PM8/26/24
to INDRAKA group
48
මාමා 

- පවිත්‍රා අභයවර්ධන

චමෝදි දුව නිදි කරලා අලුත් ගෙදර නිදන කාමරයට අල්ලපු සදලුතලයට ඇවිත් ඉදගත්තේ දුම් දාන නෙස්කැෆේ කෝප්පෙත් අරගෙන. වැහි නැති අහසේ කෝටි ප්‍රකෝටි ගණනක් තරු විසිරිලා. චමෝදි සඳැල්ලේ විදුලි පහන දල්වන්නේ නැතුව කළුවරේම වාඩිවෙලා කෝපි තොල ගගා හිටියා.

අවුරුදු ගාණකින් නොතිබුණු සැනසීමක් හිතට දැනෙනවා.

කතාවල පොත්වල කියවල තියෙන්නේ දරුවෙකුත් ඉන්න ගෑණියෙක් දාලා මිනිහා රටෙනුත් ගියාම ජීවිතේම කඩා වැටෙනවා කියලා මිසක් මෙහෙම සැනසීමක් දැනෙනවා කියලා නං නෙවෙයි.

ඒත් මහත්තයාට වැඩ, අරක මේක කියල රටට ලෝකෙට බොරු කියපු කාලෙ චමෝදිගෙ හිතේ තිබුණේ මහා වරදකාරී හැගීමක්. අදින් පස්සේ මහත්තයා අපිත් එක්ක නෑ මමයි දුවයි විතරයි ඉන්නෙ කියලා හිතට එකගව කට ඇරලා කියන්න පුලුවන්.

චමෝදිගේ විවාහ ජිවිතේ මුල ටික විතරයි වගේ අම්මලට යාලුවන්ට නෑයින්ට ඔෆිස්වලට බොරු නොකියා හිටියේ.

ඊට පස්සේ සුමේධ තමන්ට බොරු කිය කිය හිටියා. තමන් ඒවා වහන්න රටට ලෝකෙට බොරු කිව්වා. දුව හම්බෙන්න ඉද්දි තනියම ක්ලිනික් යද්දි, නොයාම බැරි මගුල් වලට තනියම යද්දි කොයි තරම් බොරු කිව්වද? 

අනිත් සහනය අලුත් ඔෆිස් එකකට ආව එක. ඉස්සර ඔෆිස් එකේ තමයි චමෝදි බදින්න කළින් ඉඳලා හිටියෙ. ඉතින් සුමේධ ගැන දුව ගැන ඔක්කොම විස්තර දන්න අයට “එයා මාව දාලා” ගියේ කියන එකේ බර වැඩියිනෙ දන්නෙම නැති කට්ටියකට “මහත්තයා නෑ, රට ගිහින්”කියන එකට වඩා.

“අනේ, සුමේධ හිටපු හැටියට හිතන්නත් බෑ”

“අනේ ඒත් මම නම් හිතුවා මූණෙ කපටි පාටින්ම” 

ඔය චූර්ණිකා මුකුත් නෑනෙ. මිනිස්සු ඇත්තටම හිතවත් කමට කියනවා ඇති උනත් ඒ වෙලාවට දැනෙන්නේ මහා ආත්මානුකම්පාවක්. ඩ්‍රිග්‍රි රස්සා රූපෙ සල්ලි මොනව තිබ්බත් ලෝකෙ ලොකුම අසාර්ථක ගෑනී මම කියලයි එතකොට හිතෙන්නේ. 

යන්තම් “අනේ කෙල්ලෙක් නේ ඉන්නෙ. පෝරුවට නග්ගන්න තාත්තා එපැයි. ඔයා ඉවසන්න” කියල නං චමෝදිට කවුරුත් කිව්වේ නෑ. 

කිව්ව නං ඉතින් උන්දැ කැම්පස් එකේ රැග් කාලෙ ඉගෙනගත්තු කුණුහරප වලින් තමයි චමෝදිගෙන් අහගන්නේ.
-----------------------------------------------
පැයක් විතර එතන ඉදලා තමයි චමෝදි නැගිට්ටේ. මේ ගෙදර තෝරගන්න මූලික හේතුව උනේ මේ සදළුතලය. අම්මා නං කැමති උනෙත් නෑ දුව වැටෙයිද අරවා මේවා කියලා. හොරෙක්ට ඇතුළට පනින්න උනත් පුලුවන් ඔතනින් වගේ ජාතිනෙ අම්මලට හිතෙන්නේ.

හැබැයි චමෝදිට හිත තිබුණේ බැල්කනියේ පුටුවක් තියාගෙන කෙල්ල කාලෙ වගේ කිරි කෝපි බිබී නවකතා කියවන්න. කල්පනා කරන්න. මේක පාරට පේන්නෙත් නැතුව පාලු ඉඩමකට මූණ දාලා තියෙන නිසා එහෙම ඉන්න කිසිම ගැටළුවකුත් නෑ.

අඩි තුනක් උස වැටෙන් වැටෙන්න අවුරුදු දෙකේ දුවට බැරි බවත් හැම වෙලේම එතන දොර වහලා තියන බවත් ගෙදර අයිතිකාරයෝ ගම්කාරයෝ බවත් එයාල පහළ පදිංචි බවත් චමෝදි මතක් කළාම අම්මා සැනසුනේ” ඔව් හැබැයි රෙද්දික් හරි වේලගන්නත් ප්‍රයෝජනයි.” කියලා.
--------------------------
උන දේවල් වලට දුක් වෙවී හිටියා දැන් ඇති. තමන්ට හොද රස්සාවක් පඩියක් තියෙනවා දුවට බලන්න පුලුවන්. අම්මලා උනත් තමන් වෙන් වීම ගැන දුක් උනත් සුමේධගේ දුෂ්ට කම් දන්න නිසා ඒකට විරුද්ධ උනේ නෑ.

“මහ එවුන් වගේම තද හිතක් නැතෑ සුමේධටත්. මේ කිරි සප්පයා බලන්නවත් ආවද උන්” කියලා අම්ම කියනවා දවසක් චමෝදිටම ඇහුණා. 

“හ්ම්” අම්මා කියන දේකට කවදාවත් ලොකුවට විරුද්ධ නොවන, ඒත් මිනිස්සුන්ට දොස් කීම අනුමත නොකරන අප්පච්චි කිව්වේ එච්ච්රයි.

---------------------------------------
ඇත්තටම තමන් සුමේධගේ වැරදි මුලින් නොදකින්නත් හේතුව අප්පච්චිත් මධාරත් කියන දේ චමෝදි ගොඩක් හිතපු දෙයක්. 

චමෝදි හිතුවෙ පිරිමි හැමෝම ඒ වගේ කියලා. ඇත්තටම ගොඩක් ළඟින් ආශ්‍රය කළේ ඒ දෙන්නනෙ.

හරි සරල, සැහැල්ලු, තමන්ගේ අයට පණ වගේ ආදරේ, එයාලගෙ පරිස්සම පහසුව හැමවෙලේම බලපු ඒ පිරිමි දෙන්නා වගේ නැතුව වෙන විදිහේ අයත් ඉන්නවා කියලා චමෝදි දැනගත්තේ සුමේධගෙන්.

“මධාර මාව දාල ගියේ නැත්නම් මේ මොකවත් නෑනෙ සමූ. එයාගෙ තමයි වැරැද්ද” අලුත් ගෙදරට ගෙනත් දාපු බඩු අස් කරන්න ආව කැම්පස් එකේ රූමි සමුද්‍රි ඒකට මුකුත් කිව්වේ නෑ. ඇත්තටම චමෝදි ඒක කිව්වේ හිනා මූනෙන්. දැන් ඒක කියද්දි ඇඩෙන්නේ නෑ. මධාර ගියාමත් පස්සෙ අවුරුදු ගානකනුත් පණ යනකම් අඩුව මදැයි. 

අනිත් අතට, පස්සේ සුමේධ කියපු කරපු දේවල් ගැන, සුමේධ ළග නෑ කියලා ලං වෙන්න හදින පිරිමි භාග ගැන දැනගන්නකොට චමෝදිට හිතෙන්නේ ඒ වගේ මනුස්සයෙක් යද්දි පොළව පැලෙනකම් ඇඩුවත් කමක් නෑ කියලා.

------------------------
චමෝදියි කෙල්ලයි අලුත් ඇනෙක්ස් එකේ ඉදන් උදේ ගියා. බබා ඩේ කෙයාර් දාගෙන චමෝදි ඔෆිස් යනවා. හවසට එක්ක එනවා. අම්මයි දුවයි බඩු ගන්නවා. කෙල්ලට හදන සුදු කෑමටම චමෝදි මිරිස් ටිකක් දාගන්නවා. රෙදි හෝදලා බැල්කනියේ දාලා එනවා.

අතුගාන්න අස් කරන්න ලොකු ඉඩක් නෑ. ජිවිතේ පහසුයි සරලයි.

“මගේ පැට්ටිට ඩේ කෙයාර් එක හොදද?” අත් පද්ද පද්ද එද්දි චමෝදි අහනවා. ත්‍රීවීලර් එකක එන්න පුලුවන් උනත් කෙල්ලට දුකත් තේරෙන්න ඕනි නිසයි පයින් එන්නෙ. තමන්ට වගේ දෙයක් නොවෙයි කියලා කාටද කියන්න පුලුවන්. ලෝකෙ ඔලුවට පෙරළුණත් ඔලුව පිහිදාගෙන කරන්න තියෙන දේ කල්පනාවෙන් කරන්න කෙල්ලව පුරුදු කරන්න ඕනි.

“ඔඳයි. මාමා ඉන්නවා ටීචර් ඉන්නව” කෙල්ල කට උල් කරලා කියනවා.

 ඔය මාමා කෙල්ලගෙ පොඩි කාලෙ ඉඳන් ඉන්නවා. කෙල්ල හැම තිස්සේම “මාමා මාමා” කියද්දි චමෝදි දුවව දොස්තරලා ගාවටත් එක්ක ගියා. එයාල කිව්වේ ඔය වසයට ඒ වගේ මනංකල්පිත යාලුවෝ මවාගෙන සෙල්ලම් කරන එක සාමාන්‍යයි කියලා. 

 හැබැයි චමෝදි කෝකටත් ඩේ කෙයාර් එකටත් කවුරු හරි පිරිමි කෙනෙක් එනවද කියලා හොයලා බැලුවේ රටේ තත්වෙ දන්න නිසා. එහෙම කිසිම කෙනෙක් එන්නේ නෑලු. එහෙම නම් ඒ කෙල්ලගෙ හැමදාම ඉන්න මාමා තමයි.

යන යන තැන මාමා. 

උදේට චමෝදි උයන අතරේ ඇහැරුණත් අඩන්නේ නැතුව ඉන්නෙ මාමා ඉන්නවා කියලා. 

කාටවත් නොකිව්වට චමෝදි හිතෙන් හිතුවෙ තාත්තෙක්ගෙ ආදරයක් හරියට ලැබිලා නැති නිසා කෙල්ල වැඩිහිටි කෙනෙක් හිතෙන් මවාගෙන කියලා. තමන් කෙල්ලට හිත නොරිද්දා කිසිම අඩුවක් නොවෙන්න වැඩි කළත් අනිත් ළමයින්ට තාත්තලා ඉන්න බව කෙල්ලට තේරෙනවා ඇතිනේ. 

සුමේධ ඉදහිට එන යන කාලෙවත් දුවට එහෙම ලොකු ආදරයක් හුරතලයක් කරේ නෑ. ඇත්තටම කළා නම් තමන් ගැන නෙවෙයි කෙල්ල ගැන හිතලවත් චමෝදි අල්ලගෙන ඉන්නවා.

දෙන්න ඇවිත් ඇඟ පත හෝදගෙන රෑට උයනවා. අම්ම උයනකම් පැට්ටි බිම ඉදගෙන සෙල්ලම් කරනවා. මාමා එක්ක චර බර ගගා කතා කර කර.

------------------------
චමෝදිගෙ ඇඟ හිරිවැටෙන වැඩේ උනේ ඩේ කෙයාර් එකට දාලා සති දෙකකින් විතර. එදා මීටින් එක පහෙන් පස්සෙත් ඇදෙද්දි චමෝදි විනාඩියකට එළියට ගිහින් තමන් ටිකක් පරක්කු වෙන බව ඩේ කෙයාර් ඒකට කිව්වා. හයටත් ළං වෙලා චමෝදි ගිය ත්‍රීවීලර් එක ඩේ කෙයාර් එක ඉස්සරහ නවත්තද්දිමයි දුවයි ටීචර් කෙනෙකුයි ඉස්සරහ කඩේ යට ඉන්නවා චමෝදි දැක්කේ. දුවගේ අතින් යන්තම් අල්ලගෙන ඉන්න ටීචර්ගෙ මූණෙ නොරිස්සුමක් ඇදිලා. කනේ දුරකථනයක්. නොරිස්සුම් වෙන්නේ නැද්ද පැයක්ම පරක්කුයිනේ.

ටීචර්ට කලින් දුව චමෝදිව දැක්කේ. දැක්ක සැණින් කෙල්ල අත ගලවගෙන පාර පැන්නා.

චමෝදි ගල් වෙලා හිටියේ විනාඩියයි. පාරෙ එහා පැත්තේ වේගෙන් ගිය ලොරිය මහා හඩ දීගෙන නවත්තනවාත් එක්ක චමෝදි කෑගහගෙන පාර පැන්නෙ වටපිට බලන්නේ වත් නැතුව.

බයෙන් ගුලිවෙච්ච කෙල්ල පාර අයිනේ. ‌දුවව බදාගත්තු චමෝදි කෑගහලා අඩන්න පටන් ගත්තේ හිතට දැනුණ සහනය දරාගන්න බැරිව. 

වටවෙලා හිටිය කට්ටිය ටිකක් විසිරිලා කකුල් දෙකට ටිකක් පණ ආවම චමෝදි චීටර්ටත් ස්තුති කරලා ත්‍රී රෝදයක් නවත්තා ගත්තා.

‘මගේ රත්තරන් ආයෙ එහෙම පාර පනින්න එපා පුතේ. අම්මි ළගට එනකම් අයිනටම වෙලා ඉන්න”

ඒක කිව්වේ ත්‍රීවීලරේදි උකුලේ හිටපු දුවව හයියෙන් තදකරගන්න ගමන්.

එක සැරයක් මෙහෙම හදිසියේ ලෝකෙම කඩා වැටුණ නිසා ඒ බය චමෝදිගෙ හිතෙන් තාම ඇරිලා නෑ.

“චොරි අම්මි. මාමත් එපා කිව්වා පනින්න” කෙල්ල වෙව්ලන හඩින් කියනවා.

“ඒකනේ. මාමා හොදයි.”
----------------------------
ඒ සෙනසුරාදා පැවැත්වුණු වාර්ෂික සැමරුමට චමෝදි ආවෙ අවුරුදු ගානකින්. විවාහ උනාට පස්සේම ආව නැත්තේ හිතලමයි. මේ පාරත් ඒ පුංචි ඉස්පිරිතාලෙ තීන්ත ගාලා, කැඩුණු කබඩ් පිළිසකර කරලා අවශ්‍ය බඩු මුට්ටු ලබාදීම තමයි එකතු කරපු සල්ලි වලින් කරලා තිබුණේ.

කේටරිං සර්විස් එකකින් ලෙඩ්ඩුන්ටයි සැමරුමට ආව බැචාලටයි දවල් කෑම. 

“මෙතන නේද අපි එදා ත්‍රීවීලර් එකෙන් ඇවිත් බැස්සේ” 

සරසවියේ තෙවනි වසරේ ඉද්දි ආව ආරංචියෙන් පස්සේ චමෝදි එක්ක මෙහෙට දුවගෙන ආව සමුද්‍රි කිව්වා. දැන් ඒ කොරිඩෝව වෙනස් වෙලා. එදා එතන පෙරළී පෙරළි අඩපු කොල්ලො කෙල්ලොත් පරිණත වෙලා. අද අඩන්න කෙනෙක් නෑ. හැමෝම කඩියො වගේ වැඩ.

“හදිසි අනතුරකින් අප අතරින් වියෝවූ කළණ මිතුරු මධාර ජයවර්ධනට පින් පිණිස- සරසවි මිතුරු කැළ.”

මධාර ලස්සනට හිනා වෙලා ඉන්න පින්තූරයක් දාලා පුංචි ලීෆ්ලට් එකක් ගහලා. මිටියක්ම මේසෙ උඩ. 

බට්ටි ඉස්සිලා මේසෙ උඩින් එක කොළයක් අතට ගත්තේ බකල් ගගහා යන ගමන්. 

“මෙන්න මාම” බට්ටි කිව්වේ බෝල අත්වල ඇගිලිවලින් කොලේ තදින් අල්ලගෙන ඒ හිනා මූණට එබිලා. 




Nissanka Rajapaksa

unread,
Aug 27, 2024, 8:01:39 PM8/27/24
to INDRAKA group
49
අනවසර මධුසමය

- අනුර බී. සෙනෙවිරත්න  

හෝටලයේ පිවිසුම් දොරටුවෙන් ඇතුළුවෙද්දී සීතාගේ සිරුර දියෙන් ගොඩලූ මසෙකුගේ මෙන් ගැහෙන්නට  වී ය.  තමන් දන්නා හඳුනන කිසිවෙකු තමාත්, ජයපාලත් දෙස බලා සිටින්නේ යැයි ඇයට හැඟිණි. 

බොහෝ වේලාවක් තිස්සේ බිමට නැඹුරු කරගෙන සිටි හිස පළමුවරට ඉහළට ඔසොවා ඇය මඳක් වටපිට බැලුවා ය.  අසල සිටිනවුන් සියල්ලෝම  තම-තමන්ගේ වැඩවල නිරතව සිටිති.  එයින් සැනසීමක් ලද ඇය පිනිජම්බු ගෙඩියක් මෙන් රත් පැහැ ගැන්වුණු මුහුණ කවුන්ටරය අසල කාමරයක් ඇණවුම් කරමින් සිටින ජයපාල වෙත යොමු  කළා ය.

කිසිදු තිගැස්මක් නොමැතිව ම අමුත්තන්ගේ පොතේ මිස්ටර් ජයපාල සහ මිසිස් ජයපාල යනුවෙන් සටහන් කර කාමරයේ යතුර අතට ගත් ජයපාල, නියම නීත්‍යනුකූල ස්වාමිපුරුෂයකුගේ විලාසයෙන් කාමරය වෙත යන්නට පෙරමුණ ගත්තේ ය. සීතාට කරන්නට තිබුණේ සුවච කීකරු භාර්යාවක මෙන්  ඔහු පසුපස ගමන් කිරීම පමණ ය.  

දිලිසෙන පොළොවේ සීතා පියවර තැබුවේ ඉතා සීරුවෙනි.  පතුලටම ගෙවී ඇති සෙරෙප්පු යුවල තමා කොයි මොහොතේ මේ දිලිසෙන බිමේ උස්සා පොළොවේ ගසත් දැයි දන්නේ දෙවියන් වහන්සේ පමණකැයි ඇයට සිතිණි.  
මෙවන් දිලිසෙන බිමක් අනාගතයේ කෙදිනක හෝ තම අලුත් නිවසේ ගෙබිමට ද යොදාගත යුතු යැයි ඇය ජයපාල පසුපස යමින් කල්පනා කරන්නට වූවා ය.  එහෙත්, හතර අතට ණය තුරුස් වී සිහින නිවසින් යාන්තම් කාමර කෑල්ලක් අටවාගෙන සිටින තමන්ට එය දවල් සිහිනයක් පමණක් නොවේ දැයි ඇය තමාගෙන් ම ප්‍රශ්න කර ගත්තා ය.  

කාමරයට  ඇතුළු වී අත්බෑගය පසෙක තැබූ සීතා ඉතා විමසිල්ලෙන් යුතුව කාමරය හාත්පස විපරම් කරන්නට වූවා ය.  සුදෝසුදු ඇඳ ඇතිරිලි අතුළ විසල් යුවල ඇඳට අමතරව කාමරය තුළ ඇත්තේ අල්මාරියක්, කණ්ණාඩි මේසයක්, පුටුවක් හා මේසයක් පමණි.  විසල් යුවල ඇඳ වෙත සෙමින් ඇවිද ගිය ඇය, තවදුරටත් හාත්පස පිරික්සමින් ඇඳ මත වාඩි වූවා ය.  සැණෙකින් අඩියක් පමණ පහළට එරුණු ඇගේ සිහින් සිරුරට නවීන පන්නයේ ඇඳ මෙට්ටයේ සුවපහසු බව වඩාත් හොඳින් දැනිණි.  කාමරයට සෑහෙන මුදලක් වැයවන්නට ඇතැයි ඒ සමඟ ම ඇයට සිතිණි. 

“කාමරේට කීයක් ගියා ද?” ඇඳුම් අහවර කරමින් සිටින ජයපාල දෙස නොබලාම ඇය කටහඬ අවදි කරන්නට වූවා ය.  
“පැය දෙකට රුපියල් දෙදාහක්...” මේස් බැනියම ගලවා පුටු ඇන්දට දමමින් ඔහු පිළිතුරු දෙන්නට වූයේ කිසියම් නුරුස්නා සුලු හැඟීමකිනි.  

“මගෙ අප්පේ....! ඒ ටික වෙලාවට එච්චර ගාණක්....! ඒක නං හරිම අසාධාරණයි.  එච්චර ගාණක් යනව කියල දන්නව නං... මං කොහොමවත් කැමති වෙන්නෙ නෑ... මේ ගමන එන්න. අපරාදෙ සල්ලි” කාමර කුලිය ගැන විමතියට පත් සීතා  විස්සෝප වෙමින් පැවසුවා ය.  

ඉතාමත් ආයාසයෙන් උදාකර ගත් මේ දුර්ලභ අවස්ථාවේ ඇයගේ මේ විස්සෝපය නම් එතරම් හොඳ දෙයක් නොවේ යැයි ජයපාලට සැණෙකින් අවබෝධ විණ. ඉතා අමාරුවෙන් එකඟ කරවාගෙන මෙහි කැටුව ආ සීතාගේ මනස කිසියම් හේතුවක් නිසා වෙනස් වුවහොත්, තමන් දැරූ උත්සාහයන් සියල්ල ගඟේ ගියාක් මෙන් වනු ඇතැයි ඔහුට සිතිණි.  එනිසාම ඔහු ඇගේ විස්සෝප සිතිවිලි වෙනස් වන ආකාරයෙන් වචන එක්කාසු කරන්නට උත්සාහ කළේ ය. 

 “ඔයා හිතන්නේ... මෙච්චර සැප පහසු කාමරයක් මේ මිනිස්සු අපිට නිකං දෙයි   කියල ද? ඔය ගැන ඔච්චර හිතන්නැතුව... හොඳ ළමය වගේ.... දැන් ඉතිං ඔය ඇඳුන්  මාරුකර ගත්තනං...” ජයපාල නාන කාමරයට ඇතුළුවෙමින් කියාගෙන ගියේ ය.

තවත් මඳ වේලාවක් සිතිවිලිවල ගැලී සිටි සීතා, දිගු සුසුමක් හෙළමින් වාඩිගෙන සිටි යහනින් නැගී සිටියා ය. නුහුරු-නුපුරුදු බවත්, තැතිගැස්මත් නිසා දහදියෙන් ඇඟට ඇළුණු ඇඟලුම් එකිනෙක ඉවත් කළ සීතා, ඇඳුම් රාක්කයේ වූ සුදු පැහැති නාන තුවාය අතට ගත්තා ය.  ඒ සමඟම තම නිරුවත් සිරුරේ හැඩරුව කලෙකින් දැක ගැනීමේ ආසාවක් ඇයට ඇති වී  ය.

කණ්ණාඩි මේසය ඉදිරිපිටට ගිය ඇය, නාන කාමරයෙන් වෑස්සෙන වතුර හඬට සවන් දෙමින් විසල් කණ්නාඩිය මත ඇඳී ඇති  සිය නිරුවත් පිළිබිඹුව දෙස මොහොතක් බලා සිටියා ය.  තම සිරුරේ හැඩරුව තවමත් තමා සිතූ තරම් වැහැරී නැතැයි ඇයට සැණෙකින් අවබෝධ වී ය. යාන්තම් මුහුණ පමණක් බැලිය හැකි රසදිය පවා මැකී යමින් පවතින තම නිවසේ ඇති කුඩා කණ්ණාඩියට වඩා මේ විසල් කණ්ණාඩිය මොනතරම් සුපැහැදිලි දැයි ඒ සමඟම ඇයට සිතිණි. 

නාන කාමරයේ දොර ඇරෙන හඬින් සිතිවිලිවලින් පිබිදුණු සීතා, ඇඳ මත දමා තිබූ නාන තුවාය ගෙන තන මත්තේ දවටා ගත්තා ය.  

“පමා වෙන්නැතුව... ඉක්මනට වොෂ් එකක් දාගෙන එන්න.” නාන කාමරයෙන් එළියට එමින් සිටි ජයපාල, සීතා උනන්දු කරන්නට වී ය. තමා දන්නා තරමින් සති ගණනකින් ලිංගික ඇසුරක් ලබා නැති ජයපාලට ඇත්තේ, එසේ-මෙසේ හදිස්සියක් නොවේ යැයි නාන කාමරයට ඇතුළුවන ගමන් සීතා කල්පනා කරන්නට වූවා ය. 

නාන කාමරයට ඇතුළු වූ සීතා, එතුළ වූ නවීන පන්නයේ නාන කාමර උපාංග දෙස බලා සිටියේ ඉමහත් ආසාවෙනි.  මේ නාන කාමරය නම් තමන් යාන්තම් කාමර කෑල්ලක් අටවාගෙන සිටින තම  අනාගත සිහින නිවසේ නාන කාමරය ම යැයි ඒ සමඟ ම ඇයට සිතිණි.
 
සිරුරේ දවටාගෙන සිටි තුවාය ඉවත්කර රඳවනයේ එල්ලූ සීතා රිදී පැහැති වතුර කරාමය ඇර නවීන පන්නයේ වතුර මලෙන් වෑස්සෙන සීතල වතුරට සිය සිරුර දෝවනය වන්නට ඉඩ දී සුන්දර සිතිවිලිවලින් තම සිහින නාන කාමරය සැලසුම් කරන්නට වූවා ය.  ඒ අතර, රිදී පැහැති සබන් රඳවනයේ තබා ඇති හුරුබුහුටි සුවඳ සබන් කැටය ඇගේ නෙත ගැටිණි.  

කරාමය වසා දමා සබන් කැටය අතට ගත් සීතා,  එය නැහැයට ළංකර සුවඳ බැලුවා ය. ඇයත් නොදන්නා කුමක්දෝ ඉමිහිරි මල් සුවඳකින් ඇගේ ගත-සිත පිනා ගියේ ය. ඒ මල් සුවඳ සිතුසේ විඳිමින් හුරුබුහුටි සබන් කැටය සිත් සේ සිය සුරූපී නිරුවත් සිරුරේ මුහුණ සිට දෙපතුළ දක්වා තවරාගත් සීතා, කරාමය ඇර වතුර මලින් වැගිරෙන සීතල දිය දහරට සිය සිරුර දෝවනය වන්නට ඉඩ හැරියා ය.   
   
සිහිල් දිය පහසින් අලුත පිපුණු මලක් සේ නැවුම්ව සිටි සීතා, නාන කාමරයෙන් පිටතට පැමිණෙන විටත්, ජයපාල සුව පහසු විසල් යහනට වී ඇගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටියේ ය.

“ෂෝක් බාත්රූම්  එක නේද ජයේ...?” තවමත් නාන කාමරය පිළිබඳ සිතිවිල්ලේ ගැලී සිටි සීතා කණ්ණාඩි මේසය වෙත යමින් කටහඬ අවදි කළා ය.

“හෝටල්වල හැමදේම එහෙම තමා.  මොකද? ඔයා ඔච්චර වෙලා... ඒවයෙ ලස්සන බල-බලා හිටිය ද ?” තන මට්ටමේ සිට දෙකලවාවලින් අඩක් පමණ ආවරණය වන ලෙස පටු තුවායක් දවටාගෙන සිටින සීතාගේ අඩ නිරුවත් සිරුර තමා මේ දකින්නේ කෙතරම් කාලයකට පසුව දැයි සිහිපත් කරගන්නට උත්සාහ දරමින් ජයපාල නොඉවසිලිමත්ව පැවසී ය.

“මොකක්ද අනේ ! ඔයාට ඔච්චර තියෙන හදිස්සිය. ඔයා හරියට අලුත බැඳපු මනමාලයෙක් වගේනේ...” අත් බෑගයෙන් ගත් කුඩා පුයර ඩප්පියක් විවර කරමින් සීතා මවාගත් නුරුස්නා සුලු හඬකින් පැවසුවා ය.

“ ඔයාට නං මොකද? ඔයා දවස ම නිවාඩු.  මං ෂෝට් ලීව් එකක් දාල ආවේ.  අඩුගාණේ... ලන්ච් ටයිම් එක ඉවරවෙද්දිවත් ඔෆීස් එකේ ඉන්න ඕනි.” 

“ ඒකනේ...කියන්නේ... ඔයාට මේ වගේ වැදගත් දවසකවත් නිවාඩුවක් ගන්න බෑ කියල.” නොඉක්මන් ගමනින් සයනය වෙත පැමිණ ජයපාල අසලින් වාඩිවෙමින් සීතා තොඳොල් බසින් කියාගෙන ගියේ ජයපාලගේ දුක්බර සිතිවිලි අකා-මකා දමන්නට කිසියම් උත්සාහයක යෙදෙමිනි.

තමා අසලින් වාඩිගත් සීතාගේ පිටේ තවමත් රැඳී දිදුලන වතුර බිඳු කිහිපයක් ජයපාලගේ නෙත ගැටිණි.  මඳක් කෙළින් වී බඳ වටා අතක් යවා සීතා තමා වෙත ළංකරගත් ජයපාල, ඒ වතුර බිඳු කිහිපය දැඩි ඇල්මෙන් යුතුව සිප ගත්තේ ය.  නාන කාමරයේ ඇති හුරුබුහුටි සබන් කැටය විහිදුවන නැවුම් මල් සුවඳ ඔහුගේ නැහැයට වඩාත් හොඳින් දැනිණි.  

ඒ මල් සුවඳේ ගැලී දිගු කලෙකින් තමා නොවිඳි ප්‍රීති ප්‍රමෝදය විඳගන්නට ජයපාල සූදානම් වූවා පමණි.  කිසිවෙකු කාමරයේ දොරට තට්ටු කරන්නට වූයේ හරියට කාමරය තුළ සිදුවන දෑ දෙස අවධානයෙන් බලා සිටියාක් මෙනි.  
දුන්නක් මෙන් එකවරම සයනයෙන් නැගී සිටි සීතා, කාමරයේ දොර දෙසත්, ජයපාල දෙසත් මාරුවෙන්-මාරුවට බලන්නට වූයේ බියෙන් විසල් වූ තැතිගත් දෑසිනි.  

“රූම් බෝයි වෙන්න ඇති.” ඇඳෙන් බැස ලිහිල් වී තිබුණු නාන තුවාය නිසියාකාරව නැවත සිරුරේ දවටාගත් ජයපාල,  සීතා දෙස බලාගෙන මඳක් කල්පනා කරන්නට වී ය.  

“ඔයා හවුස්කෝට් එකක් ගෙනාව  කිව්ව නේද?. කෝකටත්...ඔය තුවායට උඩින් ඒකඇඳගන්න.” ජයපාල හඬ පහත් කරගනිමින් පැවසී ය. 

මේසය මත දමා ඇති අත්බෑගය වෙත ගිය සීතා, එය විවර කර අම්මාගේ දෑසට හසු නොවන්නට උදෑසන ම අත්බෑගයට ඔබාගත් හවුස්කෝට් එක ගෙන නාන තුවායට උඩින් හැඳ  කඩිනමින් බොත්තම් පියවා ගත්තා ය. 

සියල්ල ආරක්ෂිත යැයි කල්පනා කළ ජයපාල කිසිදු චකිතයකින් තොරව කාමරයේ දොර යතුරු කරකවා දොර විවර කළේ ය.  ඔහුගේ මුහුණේ රැඳී පැවතියේ සියුම් කෝපයක් ද මුසු නුරුස්නා සුලු හැඟීමකි.  දොර විවර කළ ඔහුට සුදු පැහැ නිල ඇඳුම හැඳගත්  සේවකයකු වෙනුවට දැක ගන්නට ලැබුණේ කාකි නිල ඇඳුමින් සැරසුණු පොලිස් භටයන් කිහිප දෙනෙකි.  

ඒ අප්‍රසන්න දසුනත් සමඟ ම වැස්සකටවත් පොලීසියකට ගොඩ වී නැති ජයපාලගේ මුහුණේ ඉරියව් එසැණින් වෙනස් වන්නට වූ අතර, ඔහුගේ සියොළඟම සීතල වී ගියේ ය.  තැතිගත් දෑසින් සයනය අසල සිටගෙන සිටින සීතා දෙස අසරණව බැලූ ජයපාල දුටුවේ පොලිස් භටයින් දැක බියෙන් දෙඅත්ලෙන් මුහුණ වසාගෙන ඇඳ මත වාඩිගන්නා සීතාගේ තැතිගත් රුව ය.  

“ ආ...ඒකයි එහෙනං... මේ කට්ටියගේ වැඩ.” පොලිස් පිරිසේ ප්‍රධානියා යැයි සිතිය හැකි සැරයන්වරයකු සීතා දෙස බලා ඇයව ගිල දමන්නට මෙන් තොල-කට ලෙව කමින් ජයපාලගේ ඇඟේ හැපී-නොහැපී කාමරයට ඇතුළු වූයේ කිසිදු ගරු-සරුවක් නැතිව ය. ඔහුගේ ඉරියව් හොඳින් නිරීක්ෂණය කරමින් සිටි ජයපාලගේ විලි ලජ්ජාව අභිබවා ඔහුටත් හොරා ඔහුගේ ආත්ම ගෞරවය කලඑළි බැස්සේ ය. 

“ඉස්සෙල්ලම... සාජන්ට් මහත්තයා... මිනිසුන්ට කතා කරන්න ඉගෙන ගත්තොත් හොඳයි.  අර ඉන්නෙ මගෙ වයිෆ්. අපි නීතියෙන් කසාද බැඳලයි ඉන්නේ.  මොකක්ද මේ කරන නොසංඩාල වැඬේ තේරුම..?” නැග එන කෝප වේගය පාලනය කර ගනිමින් ජයපාල වචන එක්කාසු කරගන්නට උත්සාහ කළේ ය. 

“මෙහෙට එන හැමෝ ම ඉස්සෙල්ල ම කියන්නෙ ඔය ටික තමයි අයිසේ. අපිට දැන්... ඕව අහල හොඳට පුරුදුයි.  බැඳල කියයි... බඳින්න ඉන්නෙ කියයි.  ඔය බයිල ඔක්කොම කියන්න පුළුවන් හෙට උසාවියේ දී.  දැන් ඉතිං.. දෙන්න ම අපිත් එක්ක පොලීසියට යන්න ලෑස්ති වුණා නං හොඳයි. ” එතෙක් වේලා විවරව තිබූ දොර පියන හඬ නැගෙන සේ වසාගෙන කාමරයෙන් පිටවන ගමන් සැරයන්වරයා කියාගෙන ගියේ ජයපාලට තවත් නිදහසට හේතු කියන්නට කිසිදු ඉඩක් නොතබමිනි.

ඒ අවසරයෙන් මඳ සැනසිල්ලක් ලැබූ ජයපාල, තවමත් බිමට පහත් වී දෙඅත්ලේ මුහුණ හොවාගෙන වැලපෙන සීතා වෙත ගොස් ඇගේ හිස පිරිමදින්නට වූයේ කළ වරදකට සමාව අයදින්නාක් මෙනි.  දෙදරු මවක් වන ඇය මෙවන් ගමනකට පොළඹවා ගත්තේ මොන තරම් ඇවිටිලි කිරීමෙන් පසුව දැයි ඒ සමඟ ම ජයපාලගේ සිහියට නැගිණි.

“කරන්න දෙයක් නෑ... දැන් ඉතිං අපි... යන්න ලෑස්ති වෙමු.” ජයපාල කටහඬ අවදි කළේ ජීවිතයේ පළමුවරට පරාජයට පත් අයෙකුගේ විලාසයෙනි. 

“අඩුගාණේ ඔයා... ඔෆිස් අයිඩන්ටටි එකවත් පෙන්නුවෙ නැත්තෙ ඇයි ? බාග වෙලාවට එයාලා ඒකට හරි සලකන්න තිබුණා. ” හිස ඔසොවා තවමත් දෑසින් ගලන කඳුළු පිස දාගන්නට උත්සාහ කරමින් සීතා කියාගෙන ගියා ය. 

“කොහෙ පෙන්නන්න ද? දැක්කනෙ ඌ මරුමුස් විදිහට කතා කරපු හැටි. අනික ඔෆිස්එකට මේව ආරංචි වුණොත් මට විසුමක් වෙන එකක් නෑ... වෙන කරන්න දෙයක්    නෑ... පොලීසියට ගිහින් ඕ.අයි.සී.ටවත් කතා කරල බලමු. ඔයා ඉක්මනට ලෑස්ති වෙන්නකෝ...” සීතාට සූදානම් වන්නට ඉඩ දෙමින් කඩිනමින් ඇඳුම් ඇඟලාගත් ජයපාල කාමරයේ ඔබ-මොබ ඇවිදින්නට වූයේ ඊළඟට කළ යුත්තේ කුමක් දැයි සිතා ගන්නට උත්සාහ දරමිනි. 

ජයපාලත්, සීතාත් පොලිස් භටයන් සමඟ හෝටලයෙන් පිටතට පැමිණෙන විටත් පොලීසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද තවත් අනවසර ජෝඩු හත-අටක් ම  හෝටලය ඉදිරිපිට ගෙමිදුලේ රැස්ව සිටියෝ ය.  ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ගැටවර වියේ පසුවන්නන් වූ අතර, අනෙක් කිහිප දෙනා යාන්තම් මැදිවිය පසුකර යමින් සිටිය හ. 
ඔවුන් වෙනුවෙන් විශේෂයෙන් ගෙන්වා තිබූ බස් රථයට ගොඩ වූ සියල්ලන්ගේ  මුහුණුවල දක්නට ලැබුණේ දැඩි විපිළිසර බවකි. 
පිටස්තර පුද්ගලයින්ගේ පමණක් නොව, තමන් සමඟ අත්අඩංගුවට පත් වී සිටිනවුන්ගේවත් දෑස් දෙස කෙලින් නොබලන්නට තරම් ඔවුහු ප්‍රවේසම් වූ හ.    

පොලීසියට ගෙනා පිරිස කිසිවකුගේ කිසිදු විරෝධයකට ඉඩ නොතබමින් වෙන්-වෙන්ව කූඩු කරන ලද්දෙන්, එතෙක් ඔවුන් එකිනෙකා අතර පැවති ආරක්ෂාව පිළිබඳ හැඟීම් පවා එක්වර ම බිඳ වැටිණි.  බොහෝ වේලාවක් නිදහසේ එකට සිටින්නට පෙරුම් පුරාගෙන පැමිණි ජයපාලටත්, සීතාටත් අත්වූයේ අනෙක් ජෝඩුවලට අත් වූ ඉරණම ම ය.

කූඩුවට වැටී වැඩි වේලාවක් යන්නට පෙර පොලීසියේ ඕ.අයි.සී. මහත්තයා පැමිණියෙන් කූඩු දෙකක වෙන්-වෙන්ව ගාල් කර සිටි ජයපාලටත්, සීතාටත් තරමක සැනසිල්ලක් දැනිණි. තමන් අත්අඩංගුවට ගත් පොලිස් භටයන්ට වඩා තරමක බුද්ධිමත් බවක් පළකළ ඕ.අයි.සී. මහත්තයාගේ තරුණ පැහැපත් මුහුණ ජයපාල සිටි කූඩුවේ යකඩ කූරු අතරින් ඔහුට පැහැදිලිව පෙනේ. 

අත්අඩංගුවට පත්ව සිටින තරුණ ජෝඩු එකින්-එක තමා වෙත කඳවා වෙන-වෙනම ප්‍රශ්න කරන පොලිස් ප්‍රධානියා, ඔවුන් සැබෑ පෙම්වතුන්දැයි හඳුනාගන්නට උත්සාහ දරන බවක් පෙනිණි.  එවන් සෑම ප්‍රශ්න කිරීමක් අවසානයේම ඒ පෙම්වතුන්ගේ දෙමාපියන් පොලීසියට කැඳවන ලෙස ඔහු සාජන්ට්වරයාට අණ දුන්නේ ය. දෙමාපියන්ගේ පැමිණීමෙන් අනතුරුව උසාවියේ නීත්‍යනුකූල දඬුවම්වලින් මිදීම සඳහා පොලීසියේ අණට එකඟව දැනටමත් දෙවියන් ඉදිරියේ විවාහ වී සිටින ඔවුන්ට නීතිය ඉදිරියේ  විවාහවන්නට සිදුවනු ඇතැයි ජයපාලට සිතිණි.

ප්‍රශ්න කිරීම් සඳහා සීතා සහ ජයපාල පොලිස් ප්‍රධානියා වෙත පමුණුවන විට සෑහෙන වේලාවක් ගත වී තිබිණි.  

“ සර්... මූ ටිකක් ඕනවට වැඩියි. රේට් එක කරද්දී... මට ඩියුටි කරන හැටිත් උගන්නන්න ආවා. අනික මුන් බැඳල කියල පැනල යන්නයි හැදුවෙ” ඕ.අයි.සී. මහත්තයාගේ ප්‍රශ්න කිරීම් ආරම්භ කරන්නටත් පෙර තමාත්, සීතාත් පිළිබඳව සාජන්ට්වරයා කළ පූර්විකාව ඕ.අයි.සී. මහත්තයාගේ පැහැපත් මුහුණට කළු වලාවක් එක්කළ සැටි ජයපාල අසරණව බලා සිටියේ ය.  

“තමාලා වැරදි කරලා පොලීසියත් නොමග යවන්න ද හදන්නේ...?” හිස ඔසොවා ජයපාල දෙස දරුණු බැල්මක් හෙළූ පොලිස් ප්‍රධානියාගේ තියුණු වාග් ප්‍රහාරය සාජන්ට්වරයාගේ නොමඳ සතුටට හේතු වී ඇති බව ඇස් කොනින් ඔහු දෙස බැලූ ජයපාලට පෙනිණි.

“අනේ ! නෑ සර්, මං කීවෙ ඇත්ත. අපි බැඳල අවුරුදු දහයක් වෙනව.” ජයපාල කෙතරම් ස්ථිරසාර හා විශ්වසනීය ලෙස ඒ වදන් පැවසුවේ ද කියතොත්, පොලිස් ප්‍රධානියාට ඒ ගැන දෙවරක් සිතන්නට සිදු වී තිබිණි.

“හරි !  තමුසෙට පුළුවන් ද? ඒක ඔප්පු කරන්න.” මොහොතක් කල්පනා කරමින් සිටි ඕ.අයි.සී. මහත්තයාගේ තරමක් මුදු මොළොක් බවට පත් වදන් ජයපාල තව-තවත් දිරිමත් කරන්නට වී ය.

“පුළුවන් සර් ! අපි දෙන්නගෙන් කෙනෙක් නිදහස් කළොත්... අපිට පුළුවන් අපේ විවාහ සහතිකේ අරන් එන්න. අපි මේ ටවුම ළඟම යි ඉන්නේ....” ජයපාල නොඉවසිලිමත්ව කියාගෙන ගියේ ය.

“ එහෙනං...සාජන්ට් ! අයිඩන්ටිටි එක තියාගෙන මේ ලේඩි රිලීස් කරන්න. මෙයා ආයෙත් කූඩුවට දාන්න.” ඕ.අයි.සී. මහත්තයා එක දිගට අණ දුන්නේ තමා ඉතා කාර්ය බහුල පුද්ගලයකු බව නොකියා කියන්නට මෙනි.  

“මේකුං බොරුවක් කරන්න සර් ලෑස්ති වෙන්නෙ. ගෑනි පැනල ගියා ම... අපිට උසාවියට ඉදිරිපත් කරන්න වෙන්නෙ එක ඇකියුස් කෙනයි. එතකොට...මේ වගේ කේස් එකක් නිකම්ම අහක. ඒක මුං දන්නවා.”  තමා පරාජයට පත්වන්නට යන බව වටහා ගත් සාජන්ට්වරයා, තම ප්‍රධානියාගේ කනට ළංවී  තම අවසාන තුරුම්පුව ද දමා ගැසී ය.  තම යටත් නිලධාරියාගේ අදහස අනුමත කරන්නට මෙන් මොහොතක් වේලා හිස වනමින් කල්පනා කරන්නට වූ පොලිස් ප්‍රධානියා පළමු වරට සීතා දෙස බැලී ය.

“හැබැයි තමා... බොරුවක් කරන්න හැදුවොත්... තමාලා දෙන්නට ම මාස ගාණකට මහ උළු ගෙදර තමා තපින්න සිද්ධ වෙන්නෙ.“ ඕ.අයි.සී. මහත්තයාගේ ඒ වදන්වල කිසියම් ස්ථිරසාර, දැඩි බවක් ගැබ්ව ඇතැයි තවත් වචනයක්වත් කතා කරන්නට පෙර සාජන්ට්වරයාගේ හැඩිදැඩි සිරුරේ පිහිටෙන් නැවත කූඩුව වෙත තල්ලු වී යමින් සිටි ජයපාල කල්පනා කළේ ය.

යකඩ කූඩුවේ කූරු ගණන් කරමින් විවිධාකාර සිතිවිලිවල වෙලී සිටි ජයපාලට වේලාව පිළිබඳ හැඟීමක් නොවී ය.  පළමුවරට ඒ පිළිබඳව ඔහුට සිහිපත් කළේ, ඈත බිත්තියක එල්ලා ඇති පොලීසියේ විසල් බිත්ති ඔරලෝසුව යි.  ඔහු තම අත් ඔරලෝසුවේ වේලාව ඒ හා සංසන්දනය කර බැලී ය.  කාර්යාල වේලාව අවසන් වන්නට විනාඩි තිහකට වඩා නැති බව ඔරලෝසුවල සටහන්ව තිබෙනු දැක ජයපාලගේ ඉහ-මොළ රත් වී ගියේ ය.  සවස්වරුවේ කාර්යාලයට නොපැමිණෙන බව දැනුම් දෙන්නට නොහැකි වූ බව ඔහුට සිහිපත් වූයේ පළමු වතාවට ය. කාර්යාලයට දුරකථන ඇමතුමක් දෙන ලෙස සීතාට කියන්නට අමතක වීම ගැන ඔහු තුළ ඇතිවූයේ මහත් පසුතැවිල්ලකි.

සීතා නැවත පොලීසියට පැමිණෙන විට තවත් පැය භාගයක පමණ කාලයක් ගත වී තිබිණි. ඇගේ රූමත් මුහුණ දැඩි වෙහෙසකර බවක් පළ කළ ද, කිසියම් පැහැපත් බවකින් ද ඔප වැටී තිබිණි. තැලී ඉරී පොඩි වී වැරහැලි වන්නට ආසන්න තමා හොඳින් දන්නා හඳුනන දිගු ලියුම් කවරය මහාර්ඝ වස්තුවක් සේ ඇය පපුවට තුරුළු කරගෙන සිටියා ය. ඒ ඉරියව්වෙන්ම ජයපාල සිටි කූඩුව ආසන්නයට පැමිණි සීතා එක් අතකින් සීතල යකඩ කූරක් අල්ලාගෙන ජයපාල දෙස බලා හති අරින්නට වූවා ය. 

“මැරීඞ් ෂර්ටිෆිකේට්  එක ගෙනාවා. මං ඕ.අයි.සී. මහත්තයාට... මේක පෙන්නලා.... ඔයා එළියට ගන්නං...” කූඩුවේ යකඩ කූරු වෙතට සමීප වූ ජයපාලගේ දෑසට එබෙමින් සීතා කියාගෙන ගියා ය. 

“ කරන දෙයක් ඉක්මනට. ඔෆිස් එක වහන්න ඉස්සර කෝල්එකක් දෙන්න ඕනි.” ඕ.අයි.සී. මහත්තයාගේ කුටිය දෙසට යන්නට පියවර එසවූ සීතා දෙස බැලූ ජයපාල නොඉවසිලිමත්ව පැවසීය.

සීතා, ඕ.අයි.සී. මහත්තයාගේ කුටියට ඇතුළු වී වැඩි වේලාවක් යන්නට පෙර ජයපාලගේ කූඩුවේ යකඩ දොර පියන විවර වුණේ ය.  යකඩ දොර පියන විවර කළ පොලිස් කොස්තාපල්වරයාටත් පෙර දනි-පනි ගා එළියට පැනගෙන ඕ.අයි.සී. මහත්තයාගේ කුටියට ඇතුළු වූ ජයපාලට දැකගන්නට ලැබුණේ මීට මොහොතකට පෙර සීතා විසින් ගෙනවිත් භාරදෙන ලද විවාහ සහතිකයේ සඳහන් තොරතුරු සහ තමන් දෙදෙනාගේ හැඳුනුම්පත්වල සඳහන් තොරතුරු එකිනෙක සංසන්දනය කරමින් සිටින පොලිස් ප්‍රධානියා ය.  
ජයපාලගේ පැමිණීමත් සමඟ ම එම කටයුත්තට තිත තැබූ ඕ.අයි.සී. මහත්තයා ජයපාලත්, සීතාත් දෙස මාරුවෙන්-මාරුවට බලමින් කටහඬ අවදි කළේ ය.

“ කසාදත් බැඳල...ආණ්ඩුවේ හොඳ රස්සාවලුත් කරද්දි.... මට හිතාගන්න බෑ ඔහෙල මේ ගුබ්බෑයං අස්සෙ රිංගන්නෙ මොන එහෙකට ද කියල...” ඕ.අයි.සී. මහත්තයාගේ කටහඩේ ගැබ්ව ඇත්තේ කෝපයකටත් වඩා කළකිරීමක් මුසු හැඟීමකැයි ජයපාලට සැණෙකින් වැටහී ගියේ ය.  

සත්‍යය තමාටත්, සීතාටත් කෙතරම් තිත්ත වුව ද, එය වසන්කොට තව දුරටත් ඔහු වෙහෙසට පත්කළ යුතු නැතැයි ජයපාලට සිතිණි.  ඒ අදහසින් ඔහු සීතාගේ මුහුණ බැලුවේ ය.  ජයපාලගේ දෑස් මත තම දෑස එක ම එක් වරක් ගැටෙන්නට සැලැස්වූ සීතා, පිනි ජම්බු ගෙඩියක් සේ විලියෙන් රත්පැහැ ගත් මුහුණ බිමට නැඹුරු කරගත්තා ය.  

“ඇත්ත ම කියන්නංකො මහත්තයෝ... අපේ ගෙදර තියෙන්නෙ එක ම එක කාමරයයි. ඒකත් හදාගත්තෙ දහ අතේ ණය වෙලා. ඒ කාමර කෑල්ලෙ තමයි... අපි දෙන්නයි... පොඩි එව්වො දෙන්නයි වැටිල නිදා ගන්නෙ.  දැනට මාසෙකට-දෙකකට ඉස්සර..මෙයාලගේ අම්මත් අපේ ළඟට ආවා.... අපිට කියල නිදහසක් නැති ම හින්ද තමයි මහත්තයෝ... අපි දෙන්න මෙහෙම ගමනක් ආවේ....” පාපෝච්චාරණයක් ලෙසින් ජයපාල කියාගෙන ගිය දුක්ගැනවිල්ල ඒ වනවිට සීතා බිම බලාගෙන කඳුළුවලට හරවමින් සිටියා ය.

ජයපාලගේ පාපෝච්චාරණය ඕ.අයි.සී. මහත්තයා අලුත් මිනිසකු බවට පත් කරන්නට වැඩි කාලයක් නොගත්තේ ය. ආයාසයෙන් හැඟීම් පාලනය කරගත් ඔහු ජයපාලගේත් සීතාගේත් විවාහ සහතිකය තිබුණු විදිහට ම නවා සීරුවෙන් ලියුම් කවරයට ඇතුළු කර හැඳුනුම්පත් දෙකත් සමඟ එය ජයපාල අත තැබී ය.

Nissanka Rajapaksa

unread,
Aug 28, 2024, 8:13:48 PM8/28/24
to INDRAKA group
50
අවංක හොරෙක්

පරිවර්තනය ⁣නිහාල් කරුණානායක 

 බටහිර ඉන්දීය කොදෙව් ලේඛක ටිමති ක්ලෙන්ඩර්ගේ කෙටි කතාවක් 







Reply all
Reply to author
Forward
0 new messages