ඇමතිනියට හෝ අගමැතිනියට ඕනෑ විදියට
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ නොහැකියි
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජ.වි.පෙ/මාලිමා ආණ්ඩුවේ ලොකුම කාර්ය ලෙස දැන් අසන්නට ලැබෙන්නේ 2026 වසර ආරම්භයේ සිට හඳුන්වා දෙන්නේ යැයි කියන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලියකි. පසුගිය මාස කිහිපයේ අධ්‍යාපන ඇමතිනී වන අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය විසින් හැම තැනකදීම කියනු ලැබුවේ, 2026 වසර ආරම්භයේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන බවය. ඒ සම්බන්යෙන් පසුගිය 11 වන සිකුරාදා අධ්‍යාපන ඇමතිනී හරිනි අමරසූරිය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පළමු පංතිය පැවැත්වූයේ යැයි මාධ්‍ය වාර්තා පළ විය.
මෙතෙක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අගමැතිනී හරිනි අමරසූරිය කළ ප්‍රකාශවල දකින්නට තිබුනේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, අනෙක් මාලිමා මන්ත්‍රීවරුන් කිසිවකුගේ හවුලක් නොමැති, මාලිමා ආණ්ඩුවට වඩා හරිනි අමරසූරියගේ දේශපාලන ව්‍යාපෘතියක් වන බවය. පළවූ මාධ්‍ය වාර්තා අනුව, ඇය මන්ත්‍රීවරුන්ට පැහැදිලිකර ඇත්තේ ඇයගේ අමාත්‍යාංශයෙන් ක්‍රියාවට නැගීමට යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණු, ප්‍රතිසංස්කරණ සඳහාවන මාර්ගෝපදේශ, ඒ අනුව අධ්‍යාපනයේ මූලික කුළුණු 04, විෂයමාලා ප්‍රතිසංස්කරණ, ගුරු පුහුණුව වැනි කරුණු කාරණා පිළිබඳව ය.
ඇය මේ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පළමු වරට ඉකුත් මාර්තු 07 වන දින පාර්ලිමේන්තුවේ අධ්‍යාපන අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව ඇමතූ අවස්ථාවේදීද මාලිමා ආණ්ඩුවට වඩා එය ඇයගේ සහ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ගේ කාර්යක් වූ බැව් දැනෙන්නට තිබුණකි. ඒ සම්බන්ධව පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ වාර්තා වන්නේද, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති වෛද්‍ය මධුර සෙනෙවිරත්නද “මෙම අවස්ථාවට එක්ව සිටි බව” පමණි. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඔහු කළ කිසිදු සඳහනක් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ නැත. හරිනිගේ එදින විස්තර අනුව අධ්‍යාපනයේ මූලික කුළුණු 05 ක් ඇතැයිද, මානව සම්පත් හා යටිතල පහසුකම් වර්ධනය ගැන අවධානය යොමු කරන බවද, ඒවා ක්‍රියාත්මක කිරීම සදහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවට අනුබද්ධිත කමිටු 06 ක් පිහිටුවනු ලබන බවද සඳහන්කර තිබිණ.
මාධ්‍ය වාර්තා අනුව, පසුගිය සති අන්තයේදී අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සහ අමාත්‍යාංශ බලධාරීන් විසින් පළාත් කිහිපයක, ඒවායේ පළාත් හා කලාප අධ්‍යාපන බලධාරීනටද අධ්‍යාපන ඇමතිනී හරිනි අමරසූරිය කතා කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දී ඇත. ඇතැම් වාර්තා අනුව, පාසල් කාලසටහනෙහි දවසේ කාලපරිච්ඡේද 08 ලබන 2026 වසර ආරම්භයේ සිට 07 දක්වා අඩු කර, එක් කාල පරිච්ඡේදයක විනාඩි ගණන 50 දක්වා වැඩි කරනු ඇත.
මේ කියන්නාවූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ කෙටුම්පතක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවට හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ රැස්වීමේදී හෝ වෙනත් කොතැනකදී හෝ බෙදා හැර ඇතැයි දැන ගන්නට නැත. ඔවුන් මේ කතා කරන්නේ අධ්‍යාපන ඇමතිනී හරිනි අමරසූරිය සහ ඇයගේ අධ්‍යාපන නිලධාරීන් සමග හිතවතුන් කිහිප දෙනෙකු හවුල් වී, ඔවුන් හිතන හැටියට හදාගත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් සම්බන්ධව මිස, ජ.වි.පෙ/මාලිමා ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා මාලාවක් ගැන නොවිය යුතුය. ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් නම්, එය පළමුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡා විය යුතුව ඇත.
රටක ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් එළෙස අප්‍රකාශිත කුඩා කල්ලියකට ඕනෑ විදියට තීන්දු කළ නොහැක. විශේෂයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, එළෙස කෙටුම්පත් කළ නොහැක. අද අපේ අධ්‍යාපනය පිරිහී තිබෙන ප්‍රමාණය කොයි තරම්දැයි කිවහොත්, මාධ්‍යවල දිනපතා අසන්නට දකින්නට ලැබෙන්නේ ළමා ලිංගික අපචාර, ළමා හිංසන, පාසල් වලින් වාර්තාවන කුරිරු වධ හිංසන සම්බන්ධ අශෝභන, අශීලාචාර සිදුවීම් ය. ඊට විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවර ගුරුවරියන්ගේ හැසිරීම්, ඔවුන්ගේ දූෂණ, අපචාර නොඅඩුව එකතු වන්නේ ය. ගුරු සංගම් කතා කරන්නේ ගුරු හා විදුහල්පති සේවාවන්හි වැටුප් වැඩිවීම් ගැන වූවත් පාසල්වල විනය පිරිහීමට, ගුරු විනය පිරිහීම අනිවාර්ය අනුග්‍රාහක සාධකයක් බැව් කතා නොවේ.
අනෙක් කාරණාව, දෙමාපියන්ගේ හීන වෙත ළමුන් බලහත්කාරයෙන් ඇද ගෙන යාමයි. දෙමාපියන් වෙනුවෙන් ළමුන් හැම විභාගයක්ම සමත් වීමට පමණක් නොව, ඉහළම ළකුණු ලබා ගැනීමටද තරග කළ යුතුව ඇත. වසර 25 ක 30 කාලයේ කෙරෙන්නේ දෙමාපියන්ගේ ආත්මාර්ථකාමී කෑදරකම් සඳහා ළමා ජීවිත අහෝසි කරමින්, ළමුන් යන්ත්‍ර බවට පත් කිරීමයි. ඒ සමග මහ නගරවල අති ජනප්‍රිය පාසල් වල පළමු වසරට ළමුන් ඇතුළු කර ගැනීමේදී මෙරට දැවැන්තම දූෂණ ජාලය සියල්ලන් නිහඬව පිළිගන්නවාට අමතරව, ළමුන් තෝරා ගැනීමේ පළමු සම්මුඛ සාකච්ඡාවේ සිට බොරු කියන්නටද ළමුන් හුරු කිරීමක් එමගින් සිදු කෙරෙන්නේ ය.
හරිනිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල හඳුනාගෙන ඇති කුළුණු 04 න් හෝ 05 න් පළමු වැන්නෙහි කියන ආකාරයට මේවා හැම පැත්තෙන්ම පුළුල් විවෘත සංවාදයකට තැබිය යුතුය. මේ සමාජයේ අධ්‍යාපනය පිළිබදව තියෙන පසුගාමී මති මතාන්තර වෙනස්කර ගත හැක්කේ ප්‍රතිසංස්කරණ තීන්දු කිරීමෙන් පසු නොවේ. ඒ වෙනස්කම් සිදුවිය යුත්තේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ යෝජනා කෙටුම්පත් කිරීම සදහාවන විවෘත සමාජ සාකච්ඡා වලය. ප්‍රතිසංස්කරණ තීන්දු කිරීමෙන් පසු සමාජ ආකල්ප වෙනස් කිරීමට හරිනිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමග කෙරෙන යෝජනා, සමාජීය ආකල්ප සාධනීය ලෙස වෙනස් කර ගැනීමක් ගැන කතා නොව, යෝජිත ප්‍රතිසංස්කරණ සඳහා සමාජ පිළිගැනීමක් හැදීමට කෙරෙන කතා පමණි.
ඒ නිසා මාර්තු 07 වන දින පාර්ලිමේන්තු අධ්‍යාපන උපදේශක කාරක සභාවට කළ ප්‍රකාශයද සඳහන් කරමින් හරිනි ජනවාරි 23 වන දින පාර්ලිමේන්තුවට කළ විශේෂ ප්‍රකාශය අනුව සහ ඊට පසුව පෙබරවාරි 15 වන දින යාපනේ කෝපායි ගුරු පුහුණු ආයතනයේ කළ ප්‍රකාශයද පාදක කර ගනිමින් පෙබරවාරි 24 වන දින මම හරිනිගෙන් ඇය කියන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහා ප්‍රසිද්ධ කරන්නැයි ලිඛිත ඉල්ලීමක් කෙරුවෙමි.
මේ ආණ්ඩුවේ විවෘතභාවය සහ වගවීම අනුව ජනාධිපති සහ අගමැති කාර්යාලවල ලිපි වලට උත්තර නොදෙන නව සම්මතය මත, මගේ ලිපියටද තවමත් උත්තර නැත. නමුත් අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමග 2026 වසර පටන් ගන්නා බව සනාථ කරමින් දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ප්‍රතිසංස්කරණ කියා දෙන්නට අගමැතිනි හරිනි අමරසූරිය ඉදිරිපත් වීමෙන් කියන්නේ, ඇය ඉදිරිපත් කරන ප්‍රතිසංස්කරණ ඒ අකාරයෙන් බාර ගැනීම, මන්ත්‍රීවරුන්ගේ වගකීම වන බවය.
මෙය අති භයානක ප්‍රජාතන්ත්‍රවාදයකි. මේ තමන්ගේ බහුතර මන්ත්‍රීිවරුන් හරහා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය දේශපාලන පක්ෂයක අභිමතයට යටත්කර ගැනීමකි. පාර්ලිමේන්තු නියෝජන ප්‍රජාන්ත්‍රවාදයක් තුල සමාජ පැවැත්මට කෙරෙන්නාවූ බරපතල ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා ආණ්ඩුවක් ඉදිරිපත් කරන්නාවූ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ විවෘත, සම්මත පිළිවෙතක් ඇත. අදාල කෙටුම්පත පළමුව ඇමති මණ්ඩලයට ඉදිරිපත්කර අනුමත කරවා ගත යුතුය. ඊළඟට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන පනත් කෙටුම්පතක් ලෙස අදාල ඇමතිවරයාගේ නමින් ගැසට් කළ යුතය. එම ගැසට් පත්‍රිකාවෙන් යෝජනා කෙරෙන ප්‍රතිසංස්කරණ කෙතරම් දුරකට ව්‍යවස්ථානුකූලද නැද්ද යන්න අධිකරණය හමුවේ පිරික්සීමටද කාලයක් ඇත. එය පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කිරීමට, පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළු කෙරෙන්නේ ඉන් අනතුරුවය.
දැන් කෙරෙන්නේ අගමැතිනී හරිනි අමරසූරිය, අධ්‍යාපන ඇමතිනී ලෙස කතා කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඒ කිසිත් නොමැතිව ක්‍රියාත්මක කිරීමකි. මාධ්‍ය වාර්තා අනුව මේ ප්‍රතිසංස්කරණ 2026 වසර ආරම්භයේ සිට ක්‍රියාත්මක කිරීම පිළිබඳව පළාත් අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කිරීම ආරම්භකර ඇති අතර, සැප්තැම්බරයේදී පමණ සමාරම්භක උත්සවයකින් පසු මේ ප්‍රතිසංස්කරණ දෙමාපියන්ට හඳුන්වා දීමට අමාත්‍යාංශය බලාපෙරොත්තු වන්නේ ය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැනි ඉදිරි පරම්පරා ගණනාවකගේ ඉරණම තීන්දු කෙරෙන ප්‍රතිසංස්කරණ කිසිවක් මෙලෙසින් ක්‍රියාත්මක කරන්නට ඉඩ නොදිය යුතුය. කිසිවකු නොදන්නා, ඇමතිනියගේ මනාපය මත ඇයගේ කල්ලියක් විසින් සම්පාදනය කරනු ලැබ ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නට අධ්‍යාපන ඇමතිනියට හෝ අගමැතිනියට පමණක් නොව, ජනාධිපතිටවත් අයිතියක් නැති බව, අවධාරණය කළ යුතුය. එයට හේතුව, සමාජයේ පොදු එකඟත්වයකින් තොරව, කොතැනක හෝ කිහිප දෙනෙකුගේ හිතුමතේට ක්‍රියාත්මක කරන ප්‍රතිසංස්කරණ වලින් ඉදිරි පරම්පරා කිහිපයක් අනාථවීමේ ලොකු ඉඩක් තිබීමය. එවැනි විට එහි වගකීම බාර ගැනීමට කිසිවකු නොමැත.
අනෙක් කාරණය නම්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්පාදනයේදී පවතින අධ්‍යාපනයෙහි ඇති සියලු දෝස, අඩුපාඩු, වාසි අවාසි සම්බන්ධ තමන්ගේ ප්‍රායෝගික අත්දැකීම් මත අදහස් ඉදිරිපත් කිරීමට සක්‍රීයව හවුල්වීමේ අයිතියක් විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට, පළාත් හා ප්‍රාදේශීය අධ්‍යාපන පරිපාලකයින්ට හා දෙමාපියන්ට තිබීමය. ඒ අත්දැකීම්, ප්‍රදේශයෙන් ප්‍රදේශයට, පළාතෙන් පළාතට වෙනස් ය. එවැනි විවිධවූ අදහස් එකතු කර ගත හැක්කේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙලෙස රහසින් සම්පාදනය කිරීමෙන් නොව, මූලික කෙටුම්පතක් සමාජ කතිකාවක් සඳහා ප්‍රසිද්ධ කිරීමෙනි. ඒ කතිකාව සමාජ ක්‍රියාවලියක් ලෙස සංවිධානය කිරීමේ වගකීම අමාත්‍යාංශයෙහි පිහිටුවන විශේෂ ලේකම් කාර්යාලයකට බාර දීමෙනි.
එනිසා මම නැවත අධ්‍යාපන ඇමතිනිය වන හරිනිගෙන්, ඇය කියන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ලිඛිත කෙටුම්පතක් පළාත් හා කලාප අධ්‍යාපන කාර්යාල හරහා විදුහල්පතිවරුන්ට බෙදා හරින මෙන් ඉල්ලමි. ගුරු සංගම්, විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගෙන් මා ඉල්ලා සිටින්නේ අධ්‍යාපන ඇමතිනියගේ ප්‍රතිසංස්කරණ, ලිඛිත කෙටුම්පතක් ලෙස වහා ඉල්ලා සිටින්නට යැයි කියා ය. මා පළාත් අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, ලිඛිත කෙටුම්පතක් ඉල්ලා, එය තම පළාතේ කලාප කාර්යාල මට්ටමින් විදුහල්පතිවරුන් හා ගුරුවර ගුරුවරියන් අතර සාකච්ඡා කිරීමේ මණ්ඩප පිහිටුවන්නට යැයි කියා ය. දෙමාපින් සමග ප්‍රතිසංස්කරණ සාකච්ඡා කිරීමේ අයිතිය හා පරම වගකීම ඇත්තේ විදහල්පතිවරුන්ට හා ගුරුවර ගුරුවරියන්ට වන හෙයින්, ඔවුන් අත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ කෙටුම්පතක් තිබිය යුතුය.
විදුහල්පතිවරුන් හා ගුරුවර ගුරුවරියන් සමග හෝ පූර්ව සාකච්ඡාවක් නොකර සම්පාදනය කළ ප්‍රතිසංස්කරණ පාසලට ගෙන යාමට විදුහල්පතිවරුන්ට හා ගුරුවර ගුරුවරියන්ට සදාචාරමය අයිතියක් නැතැයි මම කියමි. සමාජීය ක්‍රියාවලියක් සම්බන්ධයෙන් මෙතරම් අවධාරණය කෙරෙන්නේ පාසලක, පංති කාමරයක කෙරෙන අධ්‍යාපනය සැකසීම දියුණු, අනිවාර්ය ප්‍රජාතන්ත්‍රවාදී මැදිහත්වීමක් ලෙස සමාජ හිමිකාරිත්වයකට යටත් විය යුතු හෙයිනි. එහි වගකීම සමාජය සතු විය යුතු හෙයිනි. එනිසා මේ රටේ ඉදිරි අනාගතය වෙනුවෙන්, ළමුන්ගේ අනාගත ජීවිත වෙනුවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සියල්ල ප්‍රසිද්ධ කරන තෙක් ආණ්ඩුවට, අධ්‍යාපන ඇමතිනියට බල කිරීමේ අයිතියක් අප හැමෝටම ඇති බැව් අමතක නොකළ යුතුය.
“මං ආසයි, ළමුන් තමන්ගෙ ලෝකයේ දඟයෝ වෙනවා දකින්න.
මං ආසයි, ඒ ළමුන් රංචු ගැහෙනවා දකින්න.
මං ආසයි, ඒ ළමුන් තරගෙට හිනා වෙනවා දකින්න.
මං ආසයි, ඒ ළමුන් හෙට දවස බාර ගන්න, තරුණ තරුණියන් වෙනවා දකින්න.
මං ආසයි, එහෙම රටක මියැදෙන්න.”
කුසල් පෙරේරා
2025 ජූලි 15 වන දින
Kusal Perera
I always take life with a grain of salt, plus a slice of lemon and a shot of old arrack.....!For a decent e-mail ETIQUETTE:
Please delete details of all previous senders before forwarding/sending again to reduce spam, viruses & identity theft. Its best to use the Bcc field while forwarding e-mails. Thanks.DO PLEASE Cc to my alternate email - kusal.jo...@gmail.com