කෙටි කතාව 9

61 views
Skip to first unread message

Nissanka Rajapaksa

unread,
Aug 29, 2024, 8:59:23 PM8/29/24
to INDRAKA group
1
ඩෝනට් 

- පවිත්‍රා අභයවර්ධන

විජේසිංහ හාමිනේ ඉස්තෝප්පුවෙ පඩිය උඩ වාඩි වෙලා සිරිකත පත්තරේ අතට ගත්තෙ මිණිබිරී එතනම මිදුලෙ බිම වාඩි වෙලා සෙල්ලම් බත් උයන අතරේ. සෙල්ලම් බත් කිව්වට කෙල්ල කවදාවත් බත් උයන්නේ නෑ.

කප් කේක් කියලා කෝම්පිට්ටු වලට මල් වැඩ දානව, පිට්සා කියලා මැටි රොටීවල මල් කොළ අලවනවා, බ්ලූ බෙරි කේක්, මෆින්, කුකීස් කිය කිය එක එක විච්චූරණ තමයි හදන්නේ. කොළඹ ඉන්නකම් ආස වුණේ ඒවටනේ. කොරෝනා කාලෙන් පස්සේ ගමට කොටු වුනායින් ඒවා දකින්නවත් උනේ නෑ. උදේ හවස කොළඹ යන පුතයි ලේලියි කියන්නෙත් තාම කොළඹ කෑම කඩ එහෙම කලින් ගානට ඇවිත් නෑ කියලයි. 

පොඩි කෙල්ලට හිත වැටිච්ච කෑම නැති එකට හාමිනේට හිතට අමාරුයි. ඔය එකක්වත් හදන්න දන්න ඒවා නෙවෙයි. ගමේ වෙන කෙනෙක්වත් නෑ දීල හදවන්න. ලේලිත් උදේ ගිහින් රෑ වෙලා පණ ගිහින් එන්නෙ කොයිවෙලේද ඇදට වැටෙන්නෙ කියලා බලාගෙන.

පොඩි එකී බලන කාටුන්වල‍ තියෙන්නෙත් ඒවමනෙ. මොන දේට හරි “මොනවද පුතේ ඕන?” කිව්වොත් ඉල්ලන්නෙම ස්ට්‍රෝබෙරි, ඩෝනට්, කප් කේක්. ලැවරිය, වැලිතලප, හැලප, අලුව මාරුවට හදල දුන්නත් වැඩි ආසාවක් නෑ.

පුතායි ලේලියි බස් එකේ ගියා ආව මිසක් කෙල්ලට ඕනි ඒවා හොයන්න යෑමකට ඉඩක් නෑ. කොරෝනා නිසා කොළඹ අතන මෙතන යන්නත් බයයිනේ.

හාමිනේ කල්පනාවෙන්ම පිටු පෙරළද්දියි එක පාරට “නිවාඩු කාලෙට රස කෑම” පිටුව පෙරළුණේ. මෙන්න ඩෝනට් හදන හැටි ඒකෙ. 

හාමිනේට දෙයක් ඕන වුනොත් ඔහොමමයි. ඉස්සර මහත්තයා ඉන්න කාලෙ කිව්වෙ අපේ හාමිනේට හිතූ පැතූ සම්පත් ලැබෙන පිණ තියෙනවා කියලා. කිරි රොටියක්, පැණි ආප්පයක් කන්න ආසාවක් ආවොත් කියලා හැරෙන්න හම්බෙන්නෑ ගමේ කවුරුහරි පංගුව අරගෙන ගෙට ගොඩවෙනවා.

හාමිනේ ඩෝනට් වලට ඕනෑ ජාතියි හදන විදිහයි බැලුවා. අමාරුවක් නෑනේ. සුවාරිස්ගෙ කඩෙන් කමලාවතී යවලා ගෙන්නන්න තියෙන්නේ ඊස්ට් ටිකක් විතරයි. පිටි බිත්තර ඔක්කොම ගෙදර තියෙනවා. හාමිනේගේ හිත සතුටු උනේ අදවත් කෙල්ල ඉල්ලන දෙයක් හදලා දෙන්න පුලුවන් නිසා.
-----------------------------------------
ළිද ළග පැය බාගයක් විතර කෙල්ලව නාවලා කවලා තමයි නිදි කරන්නේ. පහළ ළිදේ වතුරට කොන්ඩෙ ඇදෙනවා. දැන් කෙල්ලගෙ කොණ්ඩෙ පිට මැදට දිගයි. 

හාමිනේ ඩෝනට්වලට පිටි අනලා තියලයි දවල්ට කෑම කන්න ගත්තේ. හිතාගෙන හිටියේ ඩෝනට් කිව්වම අවන් එහෙම ඕන වෙන මහ අමාරු කෑමක් කියලා. අතිරසක් කොකිසක් තරංවත් අමාරු නෑනෙ බලනකොට. 

කෙල්ල පැය තුනකට විතර පස්සේ ඇහැරෙද්දි අත්තම්මා උණු උණු රත්තරං පාට ඩෝනට් පිගානක් මේසෙ උඩ තියාගෙන හිනා වෙවී ඉන්නවා. 

“ඩෝනට්!!” පැංචිගෙ කට කනේ. ඊළග දවසේ බුද්ධ පූජාවට තියන්න එකක් අයින් කරන පමාවට කෙල්ල තුන හතරකට වග කියලා ඉවරයි. පත්තරේ තිබුණ පින්තූරවල වගේ උඩ අයිසින් සැරසිලි නැති නිසා හාමිනේ කිතුල් පැණි ටිකක් උඩින් වක්කරලා දුන්නා.
--------------------------------------------------
“තාත්ති තාත්ති, අද අත්තම්මා ඩෝනට් හැදුවා, ඩෝනට් හැදුවා” කෙල්ල ගිහින් පුතාගෙයි ලේලිගෙයි ඇගේ එල්ලුණේ පඩිපෙළ ගොඩවෙන්නත් කළිං. කොරෝනා නිසා ඇගපත හෝදගෙන එනකම් ළගට යන්න එපා කියලයි කියලත් තියෙන්නේ. 

“ආ ෂෝක් නේ චූටි” පුතාගෙ කටහඩ මහන්සි පාටයි. සතියට දවස් පහක් බස් එකේ කොළඹ ගිහින් එනවා කියන්නෙ පණක් ඉතුරු වෙනවයැ. කොම්පැනියේ බිස්නස් අඩුයි කියලා පඩිය අඩු කරපු නිසා කාර් එකේ යන්නෙ දාරාණිපාත වැස්ස දවසක විතරයි. 

හතට විතර එන දෙන්නා මහන්සි යන්න හොද තේකක් බීලා නවය දහය වෙලා තමයි රෑට කන්නේ. හාමිනේ තේ කෝප්ප දෙකත් එක්ක ඉතුරු ඩෝනට් හතරකුත් ගෙනිහිං තිබ්බා.
පුතා තමයි ඉස්සෙල්ලම එකක් කෑවෙ.

“කිරි අම්මා හදලා තියෙන්නේ ඩෝනට් නෙවෙයි නේ චූටි. උළුදුයි ලුණුයි නැති උළුදු වඩේනෙ” පුතා පොඩි කාලෙ ඉදන් විහිළු කාරයා. අප්පච්චි වගේමයි. අම්මත් ඕනි දේකට ඔට්ටු නිසා කොල්ල අම්මට නොකියන දෙයක් නෑ.

“මං ඉතිං කාල තියනවැයි ඕවගේ රහ ගුණ දැනගන්න. පත්තරේ තිබුණ රූපෙ බලාගෙන ඒ කියලා තිබුණ විදියට තමයි හැදුවේ” හාමිනේ උත්තර දුන්නෙ හිනාවෙන්මයි. 

ඒ වුණාට පුතාගෙ මූණ එකපාරම වෙනස් වුණා හාමිනේට පෙනුනා. කතාව වෙනස් කරලා පන්සලේ කඨිනෙ ගැන කතාවක් පටන් ගත්තෙ ඒකයි.
-----------------------------------------
සුරංග කළින්ම කාලා ඇදට වැටුණා. මොකද්ද අම්මට කියපු මෝඩ කතාව. තමන්ටම තරහයි. මේ ගමේ ගොඩේ ඉන්න අම්මා කොහෙන් කන්නද ඕවා. පිට්සා, බර්ගර්, බුරියානි, වටලප්පන් සතිය ගානේ කෑවා, ගමේ එද්දි අම්මට සිල්ලර බඩු මිසක් ඒ වාගේ දෙයක් නිකම් රහ බලන්න වත් ගෙනත් දෙන්න මතක් උනේ නෑ කියලා හිතෙද්දි ලැජ්ජාව ඉහින් කණින් පිටවෙනවා.

කොළඹ ගෙදර අම්මා ආවමත් නාලිට විවේක ගන්න කියලා අම්මමයි ඉව්වේ. කැම්පස් යාලුවෝ ඔෆිස් යාලුවෝ ආව දවසට දාස් ගණං වියදං කරලා චයිනීස් ඩ්‍රැගන්, බර්ගර් කිං, ලෙමන් ග්‍රාස් ගියා. නැත්නම් ඕඩර් කලා. 

අම්මා ආව දවසට අම්ම ගේන පොළොස්, ඇඹුල් තියල්, අච්චාරු එක්ක තව මොනව හරි හදාගත්ත මිස විශේෂයක් කරේ නෑ කවදාවත්. 

ටික වෙලාවකින් කාමරේට ආව නාලිකාට තේරුණා සුරංගගෙ වෙනස.

“අප්සෙට් වෙන්න එපා අනේ. අම්ම ඕව හිතේ තියාගෙන ඉන්න කෙනෙක් නෙවෙයිනේ.” නාලි සුරංගගෙ උරිස්ස අත ගෑවා. ඔෆිස් එකේ යාලුවන්ගේ නැන්දම්මලා එක්ක බලද්දි සුරංගගෙ අම්මා දාහෙන් සම්පතයි. රෑට රෑ වෙලා එද්දි මූණ එල්ලගෙන නැතුව හිනා වෙලා ඉන්න එකම මදැයි.

සුරංග මේ පැත්තට හැරෙද්දි කම්මුලේ තෙත නාලිගෙ අතේ ගෑවුණා.
------------------------
ඊළග දවසේ ගෙදර එනකොට සුරංගගෙ අතේ කාර්ඩ්බෝඩ් පෙට්ටියක් තිබුණා. 

කෙල්ල ගිහින් අතේ එල්ලෙද්දි, “මේක කිරිඅම්මටයි චූටිටයි දෙන්නටම හොදේ” සුරංග කිව්වේ පෙට්ටිය කෙල්ලට උදුරන්න බැරිවෙන්න උස්සලා අම්ම අතේ තියන ගමන්. 

පෙට්ටියෙ පියන උස්සපු හාමිනේ දැක්කෙ ඊයෙ හදපු ඩෝනට් වල හැඩේ තියෙන උඩින් අපූරු මල්කම් ලියකම් කරපු ඩෝනට් හයක්. ඒ පෙට්ටියට යටින් තද දම් පාට මල් වැටිච්ච චීත්තයකුයි ලා දම් පාට රෙද්දකුයිත් නමලා.

“ඔන්න අම්මා කාල නෑ කිව්ව කෑම කාලා බලන්න ගෙනාව’ හිනාවකින් කිව්වට සුරංගගෙ ඇස් එතකොට වේලිලා. 

ඒත් “පිං සිද්ද වෙනවා. වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි මගෙ අප්පට” කියපු හාමිනේගෙ ඇස් දෙකේ තෙතක් යන්තමට දිළිසුණා.



Nissanka Rajapaksa

unread,
Aug 30, 2024, 10:01:59 PM8/30/24
to INDRAKA group
2
පුන්‍යවන්ත පරණ පෙම්වතී 

- Dhammika Wickramaarachchi

මං මගේ ගොං කමට මගේ පරන ප්‍රේම කතා සහ ප්‍රේමවන්තියන් ගැන හැම විස්තරයක්ම බිරිඳට කිව්වා ඇත්තම කිව්වොත් ඒව මං කිව්වා නෙමෙයි එයා ඒව හාර හාර මගෙන් අහගත්තා බේරෙංඩ බැරිකමට මට කියංඩ සිද්ද උනා.
දවසක් හැන්දෑවරුවක තේ එකක් බිබී ඉන්නැද්දි එයා කතාවට මුලපිරුවෙ මෙහෙමයි

" දැං අපි බැඳලත් ගොඩක් කල්නෙ අනේ මං හරි ආසයි ඔයාගෙ පරන ලව් ස්ටෝරි අහංඩ ඒව හරි ජොලි ඇති නේ.. 
මට ඔයා අවංකවම ආදරේනම් ඔයා ඒව මට කියන්න ඕනෙ හොරයක් බොරුවක් නැතුව,
හැබැයි මට ඇත්තම දැනගංඩ ඕනෙ මං ඔයාගෙ බිරිඳ මට ඒව දැනගන්න අයිතියක් තියනවා හරිද " 
හරිම හුරතල් විදිහට එහෙම තමා මේ කතාවට එයා මුල්ගල තිබ්බෙ

 එයා ඉතිං එහෙම කිව්වට මම එකපාරටම පරන දේවල් කියංඩ ගියෙත් නෑ මොකද ඕව ඉතිං කටක් ඇරල බිරිඳකට කියංඩ පුලුවං කාරනා කාරනා නෙමෙයිනෙ එහෙම පරණ දේවල් කියන එක හොදත් නෑනෙ ඒත් එයාගෙ තදබල ඇවිටිල්ල නිසා එක පොඩි කතාවක් දෙකක් කිව්වට පස්සේ එහෙමට අව්ලක් නොව්න නිසාත් එයා ඒවලින් සතුටුවෙන බව දැනුන නිසාත් මම පරන ස්ටෝරි එකින් එක කියල දැම්ම සමාර කතාවලට සමාර දේවල් අතිනුත් දාල කිව්ව රස වැඩිකරංඩ.

"අයියේ ඔය එෆෙයාර්වලින් ඔයාගෙ හිත වැඩිපුරම ගිය එෆෙයා එක මොකක්ද"

"ඕව දැං අහල වැඩක් නෑනෙ නදීශා හරි පරණ දේවල්නෙ"

"අයියෝ අයියෙ මං එහෙම පටුවිදිහට හිතන කෙනෙක් නෙමේ ඒව ඉතිං පරණ කතා කියල මම දන්නවනේ අනික මම ගතානුගතික කෙනෙක් නෙමේ ඔයා දන්නවනේ ඒක"

එයාගෙ බේරෙංඩ බැරි අවිටිල්ල නිසාම මම මගේ නෑදෑයෙකුත් වෙච්චි ප්‍රමිල එක්ක තිබ්බ මගේ සීරියස් ලව් එකේ අකුරක් නෑර කියල දැම්මා සමහර සිද්දි එයාට කියන්න උනත් මතක් කරනකොට හදවතට මොකක්දෝ සතුටකුත් දුකකුත් කාංදු උනා

"එයා හරී ලස්සනයි එයාගෙ හම නිකං වෙල්වට් වගේ මම වින්ද සෞම්‍යම ස්පර්ශය එයාගේ..එයාගෙ ඇස් දෙක තමයි මං ආස කරපුම ඇස්දෙක ඒ ලස්සන හිනාව වෙන කාගෙන්වත් මං දැක්කෙ නෑ නියපොතු කකුල් කඩහඬ ඒ ඔක්කොම මම කෙල්ලෙක්ගෙන් දැක්ක හොදම ලස්සනම දේවල් කිසි කෙනෙක්ගෙන් ආයෙ ඒ වගේ දේවල් දැක්කෙ නෑ එයා හරි පුන්‍යවන්තයි"
මං ප්‍රමිලගේ විස්තර හඳවතින්ම බිරිඳ එක්ක කිව්වා 

"එතකොට ඔයා එයාව එක්කගෙන මේ කාර් එකෙත් ගිහිල්ල තියනවද"

"නෑ එතකොට මේක තිබ්බෙ නෑනෙ මගේ මිනිකූපර් එකේ තමයි එයත් එක්ක හැමතැනම ගියේ ඒකට කතාකරංඩ පුලුවන්නං කියයි මරු කතා ටිකක්"

"මේ අපේ ගෙදර තියන අපේ මිනි එකේ "

"ඔව් ඒක මංගාව තියෙන්නෙ ගොඩාක් කල් ඉදලනේ"

"අයියේ ඇත්ත කියන්නකෝ ආයෙ ආත්මෙක ඔයාට කැමති කෙනෙක් ලබන්න පුලුවන්නම් ඔයා ප්‍රමිලව ලබාගන්න කැමතිද"

"පිස්සු කියන්නෙ නැතුව ඉන්න නදීශා"

 "මං කිව්වනෙ මට ඇත්ත කියන්න කියල මං පොලොවෙ පයගහල ඉන්න කෙනෙක් අයියේ ජීවිතේ ඔහොම තමයි අනේ මං නිකමට අහන්නේ"

ඉතා පලල්ව යථාර්ථවාදීව සිතන මෙවැනි බිරිඳක් ලැබීම ගැන මම සතුටු උනෙමි.

"ඔව් ඉතිං ප්‍රමිලව ආයෙ වෙන ආත්මෙක ලැබෙනවනං මං කැමතියි"

"එයා ඔයාට තාම කතා කරනවද"

"ඔව් එයා මගේ ලගම නෑදෑයෙක් කියල ඔයා දන්නවනෙ ඉදල හිටල කතාකරනව"

එච්චර කාලයක් ගෙවිල ගියේ නෑ සතියයි ඔව් සතියයි මගේ බිරිඳ ටිකින් ටික වෙනස් වෙන්න ගත්තා මම එක්ක කතාකරනකොට වෙනදා මූනේ තිබ්බ හැගීම ඒ විදිහට තිබ්බෙ නෑ නිකං මොකක්දෝ අසනීපයක් තියනවා වගේ මම දවසක් පිටිපස්සෙන් ගිහින් එයාව වැලඳගත්තම මගේ අත ගසාබසා දාල කේන්තියෙන් වගේ ගියා..

"මොකද අනේ වෙලා තියෙන්නෙ මොකද මාව තල්ලුකරල අහකට ගියේ"

"නෑ ඉතිං වැඩක් නෑනෙ අපේ හම වෙල්වට් වගේ නෑනෙ"

ඇත්තටම මෙයා කියපු හරුපෙ මට එච්චර මීටර් උනේ නෑ

"මොකක්ද ඔය වෙල්වට් කතාව"

"ඇයි ඔයාගෙ ප්‍රමිලගෙ ඇඟ වෙල්වට් වගේ කිව්වෙ ඔයාලටත් අපි කොච්චර කලත් පිටගෑනු තමයි අගේ අපේ තියෙන්නෙ කබර හං වෙන්නැති"
ඇය නෝක්කාඩුව පිටකරයි

"මේ අහන්න මං ඕව කිව්වෙ නෑ ඔයා හාර හාර ඇහුව නිසා මං කිව්වෙ ඔයා කිව්වනෙ ඔයා වැරදියට හිතන්නෙ නෑ කියල ඒව ගොඩාක් ඉස්සර ඉවරකරපු කතා"

"අනේ නිකං ඉන්න හිතේ හිරකරගෙන හිටපු ඒවනෙ ඔයා ඒ කියල දැම්මෙ මට හොදට මතකයි තමුසෙ ඒකි ගැන වර්නනාව ගහනකොට තමුසෙගෙ මූනෙ තිබ්බ හිනාවයි සංතෝසෙයි"

ඇය කාමරයට වැදී දඩාස් ගා දොරවසා ගත්තීය.
මුංනං මාර ගෑනු තමයි අප්පා මගෙංම එක එක ඒව හාර හාර බලෙංම අහගෙන දැං ඒවලින් මටම ගහනවා 

මේකතාව තවත් භයානක වූයේ මේ සිදුවීමෙන් දින දෙකකට පසු උදාවූ විවේකී සෙනසුරාදා දිනයේයි
ගුවන්විදුලියේ වාදනය වූ මිහිරි ගීතයක් මම දෑස් පියාගෙන රසවිඳිමින් සිටියෙමි

🎵🎶අහසයි ඔබ මට නිම්හිම් නොපෙනෙන ඉනිමං බඳිනු බැරී 🎵
🎶පොලොවයි ඔබ මට තරුවක් විලසට රෑකල පතිත වෙමී 🎶

දඩ දඩාස් ගා විශාල ශබ්දයක් සමග ගීතය නතරවීම නිසා මා මා ඇස් ඇර බැලූවිට දුටුවේ කේන්තියෙන් පුපුරන බිරිඳත් බිම වැටී කැබලිවලට කැඩී ඇති රේඩියෝ යන්ත්‍රයත්ය

"මොකක්ද ඔයා කරපු ඒ වැඩේ"

"කරපු වැඩේ මං මෙතන මැරීගෙන ගෙදර වැඩ තමුසෙ ඇස්දෙක පියාගෙන අහසයි ඔබමට කියකිය අරකිව මතක් කරකර සින්දුව අහගෙන මනෝපාර ගහගෙන ඉන්නවා තමුසෙ ජරා මිනිහෙක් තාම ඒකි ගැන හිතහිත මේ ලව් සින්දු අහ අහ ඉන්නෙ"

"ඔයාට පිස්සුද "

" ඔව් තමුසෙ දැං මට පිස්සු කියලත් කියනවද ඔව් ඒකි වගේ එකියක් අදවෙනකම් ජීවිතේට දැක්කෙ නෑ කියලත් කිව්වනෙ අපි මොක්කුද නේද ඊලග ආත්මෙත් පතන්නෙ ඒකි කිව්වනෙ"

"මේ ඔයා මගෙත් යකා අව්ස්සගන්න එපා ඔයාමයි මගෙං ඇහුවේ වෙන ආත්මෙක කව්රු හරි පතනවනම් කාටද කැමති කියල"

"ඔව් මම ඇහුව තමයි ඒත් තමුසෙ මාව පතනව කියල කිව්වෙ නෑනෙ ඒකිවනෙ පතනව කිව්වෙ"

"ඔයා ඇහුවේ පරන අයගෙන් කොයි කෙනාටද කැමති කියල"

"මං ඇහුවෙ කැමති කෙනෙක් කියල ඉතිං තමුසෙ ඒකිට තාමත් කැමති නිසානෙ ඒකිව පතනව කිව්වෙ ඒකිට කැමති නැත්තං ඒම කියන්නෙ නෑනෙ මං තමුසෙගෙ හිතේ නෑ තමුසෙ මට ආදරේ ඇති කියල හිතාගෙන මං රැවටුනා ඒකි පුන්‍යවන්ත ගෑනි මම පව්කාර ගෑනි"

'ඇත්තටම තත්වය දැන් දැන් බරපතලවීගෙන එනබව මට තේරෙමින් තිබ්බෙ.

ඊටත් දවස් දෙකකට පස්සේ උදෑසන අහාරය ගනිමින් ඉන්නකොට තමයි ෆෝන් එකට ටීං ගාල කාගෙන්ද මෙසේජ් එකක් ආවෙ කවදාවත් මගේ ෆෝන් එක නොබලන බිරිඳ ටක් ගාල ෆෝන් එක අරන් මෙසේජ් එක බැලුවා

"මං කිව්වෙ මං කිව්වෙ මේ අරකිගෙං ප්‍රමිලගෙං මෙසේජ් එක දස්කොන් ඔයා හොදින්ද කියල අහල තමුසෙ එතකොට දස්කොන්ද උගෙත් තිබ්බෙ හොර ලව් එකක්නෙ ප්‍රමිල එක්ක හා තමුසෙත් එහෙනං කරන්නෙ ඒක.. දිවිත් පුදයි ඒකි වෙනුවෙන්"

නෙදකිං මුනුත් ඉදලා ඉදලා මෙසේජ් එකක් එවන්නේ මරු වෙලාවල් බලල..දැන් ඉතිං තෙල් ලිදකට මිසයිලයක් ගැහුව වගේ තමයි නිමන්න ලේසිවෙන්නෙ නෑ ශික්..

දවසින් දවස තත්වය දරුණුවෙන්න ගත්තා එක දවසක් මම මගේ මිනි කාර් එක ලගට ගියාම දැක්කේ ඒකෙ හෙඩ් ලයිට් කඩලා ටේල් ලයිට් බිදලා බඳ ඔක්කොම තියුනු දේකින් හූරල ඒක ඇතුලට කුස්සියෙන් විසිකරන කුනු ඉදුල් දාල තිබ්බ ගන්න දෙයක් නෑ ගඳේ බෑ.

මේක ගොඩාක් ඔලුව පාවිච්චිකරන්න ඕනෙ වෙලාවක් කියල මට හිතුන දැන් දැන් ගෑනි හැසිරෙන්නේ වියරුවෙන් වගේ මගේ ජීවිතයට උනත් අනතුරක් තියෙනවා

මං මේ වගේ ප්‍රශ්නයක් ආවම කතාකරල උපදෙස් ගන්න මිත්‍රයෙක් ඉන්නවා සුමිත් කියල ඌ හම්බවෙලා මේ සියලුම විස්තර කිව්වට පස්සෙ ඌ කිව්වේ මගේ පැරනි ප්‍රේම කතාව නිසා නෝනට මානසික ප්‍රශ්නයක් ඇතිවී ඇති බවත් ඒ පිලිබදව හොදම මානසික විශේෂඥ වෛද්‍යවරියක් වන පබාසරී ගිනිගේ මහත්මිය හමුවී ප්‍රතිකාර ලබාගන්නා ලෙසත්ය

ඊලග ප්‍රශ්නය උනේ මේක ඇයට කියන එකයි
ලිඳට වැටුන එකා ලිං කටෙන්ම ගොඩ ආයුතු හෙයින් මම හිමීට දවසක් මේ යෝජනාව ඇයට කලා

"මේ මැනික ඔයාට මේ දවස්වල හරියට කේන්ති යනවනේ මං හිතන් ඉන්නෙ ඔයාව ඩොක්ටර් කෙනෙක් ගාවට ගෙනියන්න මම ඩොක්ටර්ව චැනල් කලා හෙට හවස එයාව හම්බවෙන්න යමු"

"මේ මිනිහෝ මට ඇති ලෙඩක් නෑ තමුසේ අරකි ගැන වර්නනාව ගහන නිසා මට තියෙන්නෙ කේන්තිය මං කව්ද ඒකිනෙ තමුසෙගෙ පැනි කෑල්ල ඇඟ වෙල්වට් වගේ ලස්සනම හිනාව ඊලග ආත්මෙත් පතන එකීනෙ කටහඬ මිහිරි පුන්‍යවන්ත ගෑනි ඒකිනෙ මං කරුමක්කාරි"

කතාව ආයෙමත් මුලට ඇදී එයි මෙය ලේසි පාසු කාරියක් නොවේ.

"මං කියනවට යමුකෝ සුදෝ"

"මට මොකටද සුදෝ කියන්නෙ අරකිනෙ සුදු වැඩට ගියාම තමුසෙ මං කියන ඒව ඒකිට කිය කිය උඩ පැන පැන හිනාවෙනව ඇති මං දන්නව පිරිමින්ගෙ හැටි"

"ඔයාට පිස්සුද මං එහෙම කරනවද"

"තමුසෙ කරල තියන හරිය මදෑ ඔය පොඩි කාරෙකට තමුසෙ පන වගේ සලකන්නෙ ඕකි එක්ක එහෙ මෙහෙ රව්ම් ගැහුව නිසානෙ හෙටම ඕක විකුනන්න දානව නැත්තං බලාගත්තැකි මගේ හැටි"

"අනේ ඒක කරංඩ බෑ මං ඔය කාරෙකට හරි ආදරෙයි"

"තමුසෙ ආදරේ කාරෙකට නෙමේ ඕකෙ අරකි එක්ක රව්ම් ගහපු නිසා මේ කාරෙක දකින දකින පාර ඒව මතක් කරකර මනෝ ලෝකෙක ඉන්න පුලුවන්නෙ තමුසෙට"

"විකාර කියන්න එපා මං පබසරී ගිනිගේ මැඩම්ව චැනල් කලා" 

"පබසරී ගිනිගේ...මේ මාව එයා ගාවට ගෙනියංඩ තමුං හිතන්නෙ මට පිස්සු කියලද ඔයා අරකි එක්ක මගුල් නැටුව මදිවට මට පිස්සු බේත් අරංදෙංඩ යනවා හිටපං උබට හොද වැඩක් කරන්නම්"

කෑකෝ ගැසීම් බැනවැදීම් බඩුමුට්ටු පෙරලීම් සිද්දිදාමයකට පස්සෙ බිරිඳ ලොකු බෑග් දෙකක ඇදුම් කැඩුම් අඩුක්කරගෙන ත්‍රීරෝද රථයකින් තම මෑණියන්ගේ නිවස බලා පිටත්ව යනු ලැබුවා..

වටේ පිටේ ගෙවල්වල ආරංචිය ගියේ මම පැරණි පෙම්වතියක් සමග ඇති හුටපටයක් බිරිඳට ආරංචිවීම නිසා බිරිඳ නිවසින් ගොස් ඇතිබවයි
එදින සවස නැංදම්මා මා ඇමතූ අතර

"පුතා මං හිතුවෙ නෑ ඔයා මේ වගේ කෙනෙක් කියල ඔයා ඉස්සෙල්ල යාලුවෙලා හිටිය කෙල්ලෙක්ගෙ වර්නනාව නිතරම නදීශා එක්ක කියනවලු එන ආත්මෙත් එයාවම පතනව කියනවලු අර පොඩි කාර් එකේ එයාව දාගෙන හැමතැනම ගියා කියනවලු ඕව තමංගෙ ගෑනි එක්ක කියන කතාද පුතා ඒ මදිවට ඒ කෙල්ල පුන්‍යවන්තයි මගේ දුව කරුමක්කාරයි කියලත් කියනවලු ඒ කෙල්ලගෙ කටහඬ මිහිරියි මගේ දුවගෙ කටහඬ ගොරෝසුයි කියනවලු ඒවට විරුද්දව දුව කතා කරනකොට එයාට පිස්සු කියල මානසික විශේෂඥ වෛද්‍යවරයෙක් ගාවට ගෙනියංඩ හැදුවලු ඔයා අපි හිතපු ජාතියෙ කෙනෙක් නෙමේ බලාගෙන යනකොට ඇයි ඔයා මගේ දුවට මෙහෙම කලේ"
ඇය මේ ටික පවසා දුරකතනය විසන්දිකල අතර නැවත ඇය ඇමතීමට ගත් සියලු උත්සාහයන් ව්‍යවර්ථ විය

දින කිහිපයකට පසු ප්‍රමිලා කතාකොට මා හට පවසා සිටුනු ලැබූයේ මේ සිද්දිය ඇගේ සැමියාටද ආරංචි වී ඇගේ ගෙදර පව්ලේ ආරවුල් ඇතිවී ඇති බවත් නැවත කිසිදිනෙක ඇගේ දුරකථනයට ඇමතුම් හෝ කෙටි පනිවිඩ ලබා නොගන්නා ලෙසත්ය

දැං වේලාව සවස පහයි නුවර අමායා චැනලින් සෙන්ටර් එකේ මම මේ බලාගෙන ඉන්නේ මානසික රෝග විශේෂඥ වෛද්‍ය පබාසරී ගිනිගේ එනකං මගේ නොම්බරය දහතුන ඇය එන්න තියෙන්නෙනං හතරට ඒත් තාමත් ඇය කාමරයට ඇවිත් නැහැ දෙපාරක් බෙහෙත් ගත්තත් තාම මගේ ඔලුවෙ තෝන්තුව හොද නැහැ මේ පාර මේක හොද නොව්නොත් අම්මපා වහ ටිකක් කනවා...



Nissanka Rajapaksa

unread,
Aug 31, 2024, 8:09:49 PM8/31/24
to INDRAKA group
3

සැඳෑවිය

- ලියන ගමගේ නන්දිකා හේමාලි – කුරුණෑගල

සැන්දෑ කළුවර මුළු වත්තටම පාළු පෙනුමක් අරන් ඇවිත්. ඉස්කෝලේ මහත්තයට මේ පාළු පාට දැන් හොඳට පුරුදුයි. හැමදාම හැන්දෑවට හාන්සි පුටුවට වෙලා ඉන්න එක දවසේ අනිවාර්ය පුරුද්දක් වෙලා. හාමිනේ කුස්සියේ තේ හදන පුංචි පුංචි සද්ද ඉස්තෝප්පුවට යන්තමට ඇහෙනවා. හාමිනේ තව ටිකකින් ඉඟුරු දාලා තේ එකකුත් අරගෙන එනවා කියලා ඉස්කෝලේ මහත්තයා දන්නවා. ඒත් එක්කම හාමිනේ තේ කෝප්පයක් අරන් ඉස්තෝප්පුවට ආවා. හාමිනේ තේ කෝප්පය ඉස්කෝලේ මහත්තයට දීලා ළඟින් වාඩි වුණා. හාමිනේගේ මූණ දිහා බැලුව ඉස්කෝලේ මහත්තයට තේරුණා හාමිනේගේ හිතේ කියන්න ගොඩක් දේවල් තියෙනවා කියලා. ඒකට අවසර දෙන්න වගේ ඉස්කෝලේ මහත්තය ප්‍රශ්නාර්ථය හඟවන බැල්මෙන් හාමිනේගේ මුණ බැලුවා.

“කොච්චර දරුවෝ හිටියත් අපි දෙන්නා අන්තිමට මේ පාළු ගෙදර තනි වුණා”

හාමිනේගේ කටහඩේ තිබු‍ණේ කලකිරුණු බවක්.

මෑතක් වෙනකම්ම හාමිනේගේ මූණේ තිබුණ හිනාව, කතාව හොරු ගෙනිහින් වගේ කියලා ඉස්කෝලේ මහත්තයට හිතුණා.

“දවල් පොඩි පුතා කතා කළා” හාමිනේ කිව්වේ අහක බලාගෙන.

වෙනදා පොඩි පුතා කතා කළාම හාමිනේගේ මූණ පුරා විසිරෙන හිනාව ඉස්කෝලේ මහත්තයට මතක් වුණා.

“ඇයි ඒ හදිසියෙම”

ඉස්කෝලේ මහත්තය ඇහුවේ පුදුමයෙන් වගේ. කවදාවත් මුනුපුරාගේ උපන් දිනයක්, ඉඳුල් කටගාන දවසක්, අකුරු කියවන උත්සවයක් නිකමටවත් මතක් කරන්න පොඩි පුතාට වගක් වත් තිබුණේ නෑ. ඒත් ඉස්කෝලේ මහත්තයා ඒවට තරහ ගත්තේ නෑ. ඔය කොළඹ උත්සව අපට පෑහෙන්නේ නෑ හාමිනේ කියලා කියනවා.

“ගොඩක් වෙලා කතා කළා. බැංකුවට සල්ලි දැම්මා කිව්වා. ඉස්කෝලේ මහත්තයට වෙලාවට බෙහෙත් ටික ගන්න කිව්වා. මේ දවස්වල වැඩ කරන තැන ගොඩක් වැඩ වැඩියි කිව්වා. ගෙදර වැඩට කවුරුවත් තාම හොයා ගන්න බැරි වුණා, දරුවා දාලා යන්න විශ්වාසවන්ත කවුරුවත් නෑ කියලා මට එන්න පුළුවන්ද කියලා ඇහුවා”

ඉස්කෝලේ මහත්තයා කල්පනාවට වැටුණා. මේ වයසක ගෑනි කොහොම ද කොළඹ යන්නේ, ගියත් ඉන්නේ කොහොම ද?, පුතාගේ නෝනත් ටිකක් එක විදියක්නේ. මේ ගෑනිට වෙනස්කමක් වත් කරයිද? නැතත් මේ ලෙඩ ගෑනි කොහොමද දරුවෙක් ආන්බාන් කරන්නේ

“මම කිව්වා තාත්තත් දැන් ලෙඩ ගානේ වතුර ටිකක් වත් රත් කරලා දෙන්න මම ඉන්න ඕන කියලා”

“ඉතින්?” ඉස්කෝලේ මහත්තයා හාමිනේගේ මූණ බැලුවා.

“මම එහේ ගිහින් කවුද ඉස්කෝලේ මහත්තයට කන්න බොන්න හදලා දෙන්නේ. අනෙක දැන් නිතරම ඉස්කෝලේ මහත්තයට පපුවේ අමාරුව. හදිසියේ අසනීපයක් හැදුණා - කාට කියන්න ද?”

ඉස්කෝලේ මහත්තයට දුක හිතුණේ තමන් ගැන නෙමේ. හාමිනේ ගැන. තමන්ගේ අමාරුකම්වලට වඩා හාමිනේ ළතවෙන්නේ මම ගැන නේදැයි හිතුණා. ඒත් ඉස්කෝලේ මහත්තයා මුකුත් අඟවන්න ගියේ නෑ.

“බත් ටිකක් නම් මට රත් කර ගන්න බැරියැ. ඒත් මං කල්පනා කළේ හාමිනේට පුරුදුයැ ඔය කොළඹ ගෙවල්වල ඉන්න. අනෙක ඔය අසනීපත් එක්ක පුළුවන් ද පොඩි දරුවෙක් එක්ක ඔට්ටු වෙන්න”

ඉස්කෝලේ මහත්තයා කිව්වේ හැබෑම කරුණාවෙන්. ඒත් එක්කම වගේ ඉස්කෝලේ මහත්තයට මුනුපුරා මතක් වුණා. හුරතල් කොල්ලා, දඟ මල්ල. ඉස්කෝලේ මහත්තයට හීන් හිනාවක් ඇඳුණා.

“හැබෑට හාමිනේ ගිය සිංහල අවුරුද්දට දැක්කට පස්සේ පොඩි එකාව දැක්කෙත් නෑ. දැන් ටිකක් ලොකු ඇති නේද?”

ඕන් හාමිනේගේ මූණටත් ලස්සන හිනාවක් ආවා

“ඔව් දැන් ලොකුයි. අපේ පුතා වගේමලු” ආයිත් මූණ කළු වුණා

“කොහෙද ඉතින් ළඟ පාතකවත් හිටිය නම්. දරුවව බලාගෙන ඉන්න තිබුණා අපි දෙන්නට” හාමිනේ කිව්වේ සාංකාවෙන් වගේ.

හාමිනේගේ හිතට හරි නෑ. ඉස්කෝලේ මහත්තයා තනිපංගලමේ මේ පාළු ගෙදර දාලා යන්නත් බෑ. ඉස්කෝලේ මහත්තයා කොළඹ යන්නත් කැමති නෑ කියලා හාමිනේ දන්නවා. දරුවගේ ඉල්ලීම අහක දාන්නත් බෑ. මොනවා කරන්න ද මන්දා. මේ ගෙවන පාළු ජීවිතය දැන් දෙන්නටම පුරුදු වෙලා. පාළුව තනිකම සාංකාව මුළු ගෙදරම රජ කළත් දෙන්නා දෙමහල්ලෝ බණක් භාවනාවක් කරමින් නිදහසේ ජීවත් වුණා. හවසට තමන් ගැන දරුවෝ ගැන, දහම් කරුණු ගැන දෙන්නා කතා වුණා.

“දැන් බණ පටන් ගන්නත් වෙලාව හරි නේද?” ඉස්කෝලේ මහත්තයා කිව්වේ ඔය කතාව දැන් ඇති කියන්න වගේ දෙන්නම සාලේ වාඩි වෙලා බණට සවන් දුන්නා. බණ අහලා රෑට කෑම ගත්තා. හාමිනේ රෑට හදලා තිබුණේ ඉස්කෝලේ මහත්තයගේ ප්‍රියතම කෑම වට්ටෝරුව. තිබ්බොටු මැල්ලුම් හදලා පතෝල කිරට උයලා තිබුණා.

“සිදාදියේ ජීවත් වෙන්න හරි අමාරුයි. දෙන්නම මහ ලොකු ගාණක් ගන්නේ නෑනේ” හාමිනේ කියවනවා.

“හ්ම්” ඉස්කෝලේ මහත්තයත් හුමිටි දෙනවා

“දැන් ඔය වැඩට ඉන්න ගෑනුත් මහ ගණන් ඉල්ලනවනේ. අනෙක පිට අය ළඟ දරුවා දාලා යන එකත් අද කාලේ හරි භයානකයිනේ. මට යන්න නම් පුළුවන්. ඒත් ඉස්කෝලේ මහත්තයත් දැන් ලෙඩ ගාණේනේ ඉන්නේ. හදිසියක් වුණොත් කාට කියන්න ද?”

“හාමිනේගේ කැමැත්තක් කරන්න. දරුවෝ දෙයක් කියද්දි කොහොම ද අහක බලන් ඉන්නේ”

එළිය වැටීගෙන එද්දි පුරුද්දට වගේ හාමිනේට ඇහැරෙනවා. එතකොටත් ඉස්කෝලේ මහත්තයා රේඩියෝ එකේ පිරිත් දාලා. හාමිනේ උදේම දවල්ටත් එක්ක බත් ටිකක් උයා ගන්නවා. ඊට පස්සේ වත්ත පිටියේ පොඩි පොඩි වැඩ කරනවා. ඒ වැඩ ඉවර වුණාම නාලා කියලා බණ පොතක් බලලා නිවී සැනසිල්ලේ දවස ගෙවා ගන්නවා.

දවල්ට කාලා ඉස්කෝලේ මහත්තයා හාන්සි පුටුවෙම ටිකක් ඇල වෙනවා. කම්මැළි කමටත් එක්ක හවසට පන්සලට ගිහින් හාමුදුරුවොත් එක්ක දහම් ගැටලු ටිකක් සාකච්ඡා කරනවා. නැත්නම් වෙද මහත්තයා එක්ක ටිකක් කතා කර කර ඉන්නවා. කොහොම වුණත් ඇඳිරි වැටෙන්න කලින් ගෙදරට එනවා. ඉස්කෝලේ මහත්තයත් එක්ක තේ ටිකක් බිබී දවසේ විස්තර කතා කරන්න හාමිනේ බලන් ඉන්නේ ඒ වෙලාවට.

“පුතා අදත් කතා කළා. ටිකක් තරහින් වගේ”

හාමිනේ කිවුවේ දුක්මුසු කටහඬකින්. ඉස්කෝලේ මහත්තයට පපුව දාලා ගියා වගේ. ඒත් මුකුත් කිව්වේ නෑ.

“පොඩි පුතා දොස් කිව්වත් එක්ක, හැමදාම උදවු ඉල්ලන්නෙත් නෑනේ. මෙහෙම වෙලාවක උදවුවක් නැත්නම් වැඩකුත් නෑ කිව්වා.”

ඉස්කෝලේ මහත්තයට මුකුත් කියන්න වචන හොයා ගන්න බැරි වුණා.

“එයාලා එහෙම කියන එක වැරදියිනේ ඉස්කෝලේ මහත්තයා, අපි ඒ කාලේ ඉඳලම දුක් වින්දා. මහන්සියෙන් දරුවෝ ලොකු මහත් කළා, තියෙන හැම සතේම වියදම් කරලා ඉගැන්නුවා. ගුණ ධර්ම කියලා දුන්නා. තියෙන හැම දේපළක්ම ලියලා දුන්නා. මේ බැරි කාලේ අපට පිනක් දහමක් කරගෙන නිදහසේ ඉන්න දෙන්න එපැයි”

“මට යන්න පුළුවන්. ඔය පුංචි පැටියව බලා ගන්න මේ අත් දෙකේ තාම වාරු තියෙනවා. ඒත්……..” හාමිනේ කතාව ඉවර කළෙත් නැතුව කතාව වෙන පැත්තකට හැරෙව්වා.

“දැන් අතේ කැක්කුම අඩුයි ද ඉස්කෝලේ මහත්තයා?”

ඇඳට වෙලා කල්පනා කරමින් හිටිය ඉස්කෝලේ මහත්තයාගෙන් හාමිනේ ඇහුවා.

“ටිකක් විතර කැක්කුම අඩුයි දැන්”

“ඒක හොඳ තෙලක් ඉස්කෝලේ මහත්තයා. මෙහෙන් වාඩි වුණා නම් අදත් බෙහෙත් තෙල් ටිකක් ගාන්න”

හාමිනේ බෙහෙත් තෙල් ටිකක් ගාලා හොඳට අත ගෑවා.

“අනේ මන්දා ඉස්කෝලේ මහත්තයා මට යන්නම වෙයි වගේ. දැන් දවස් දෙකක්ම දුව වැඩට ගියේ නැතිලු. පුතාව දාලා යන්න විදියක් නැතුව”

හාමිනේ කිව්වේ හරි දුකින්.

“දැං ඇති හාමිනේ. මොනවා කරන්න ද? ඔන්න ඔහේ ගිහින් එන්න”

හැමදාම පුරුද්දට වගේ හාමිනේට උදෙන්ම ඇහැරෙනවා. එතකොටත් ඉස්කෝලේ මහත්තයා රේඩියෝ එකේ පිරිත් දාලා. තේ එකක් බීලා දෙන්නම පිරිත් අහනවා.

එදා සෙනසුරාදා දවසක්. ටිකෙන් ටික ළා හිරු එළිය ලෝබ නැතිව මුළු වත්තම එළිය කළා. වත්තේ කොනේ දාස් ගස්වල මල් පිරිලා. මුළු පළාත ම කහ පාටයි. අඹ ගහේ ගෙඩි පිරිලා. ලේන්නු, කුරුල්ලෝ රණ්ඩු වෙවී හරි සතුටෙන් එහාට මෙහාට දුවනවා. වෙනදා වගේ කෑ ගහන සත්තු එළවන්න හාමිනේට හිතුණේ නෑ. පුංචි උන්ට අඹ ගෙඩියක් යවා ගන්න තිබුණා නම්. හාමිනේට නිතරම හිතුණා.

ලොකු දුව ඒවි කියලා මේ දවස් ටිකේ ම හාමිනේට හිතුණා. අද නම් කොහොම හරි ඒවි. පුංචි පැටව් දෙන්නට අඹ ටිකක් කඩලා තියන්න ඕන කියලා හිතුව හාමිනේ අමාරුවෙන් ටිකක් ලොකු උණ ගහක් අරගෙන අඹ ටිකක් කඩන්න බැලුවා.

“හා හා හාමිනේ ඔය මොකද කරන්නේ”

ඉස්කෝලේ මහත්තයා ඉක්මනට හාමිනේ ළඟට ආවා.

“අද ලොකු දුව එයි මගේ හිතේ. පොඩිවුන්ට ගෙඩි ටිකක් කඩලා තියන්න කියලා හැදුවේ”

“හාමිනේ ඉන්නකෝ ටිකක්. දැන් ඔය කොන්දේ කැක්කුමත් වැඩි කර ගන්නවා”

ඉස්කෝලේ මහත්තයා උණ ගහට කෙක්කක් බැඳලා ගෙඩි ටිකක් කඩා ගත්තා.

“මේ ටික අරන් තියන්නම්. පොඩි උන්ට දෙන්න”

හාමිනේ ඇවිත් අඹ ගෙඩි ටික උරයකට දැම්මා.

“මම ඉස්කෝලේ මහත්තයට සුදු ලූණු, උළුහාල් ටිකක් තැම්බුවා. පපුවේ අමාරුව ඇරිලා යාවි. ටිකක් බීලා ඉන්න”

දවල් වෙන කොට ලොකු දුව සුවිනිතා දරුවෝ දෙන්නත් එක්ක ගෙදර ආවා. හාමිනේගේ මුණ පුරා සතුට දෝරේ ගලනවා. ඉස්කෝලේ මහත්තයටත් එහෙමමයි. පොඩි උන්ටත් හරි සතුටුයි.

හිනා වෙවී ආසාවෙන් දරුවෝ දිහා බලා හිටිය ඉස්කෝලේ මහත්තයගේ හිත අතීතයට දිව ගියේ විදුලි වේගයෙන්. ඉස්කෝලේ මහත්තයා කාලයේ වෙනසත් එක්ක ළමා වියේ වෙනස්කම් හිතින් මැන බැලුවේ පොඩි උන් ගැන අනුකම්පාවෙන් හිතන ගමන්.

වත්ත පහළ කොටයක් ළඟ හරි ලස්සනට බිම්මල් පිපිලා තිබුණා. සුවිනීතා හරි කැමතියි හතු මාළුවට. එයා බිම්මල් ටිකක් පරිස්සමට කඩා ගත්තා. පොළේ තියෙන්නේ වස විස පිරුණු කොළ එළවළු බව දන්න සුවිනීතා ගොටුකොළ, මුකුණුවැන්න කොළ ජාති වගේ ම උයන්න පිහන්න ගොඩක් දේවල් එකතු කර ගත්තා. අජිත් අඹ ගෙඩි ටිකක් කඩා ගත්තේ අඹ මාළුවක් කන්න ආසාවට.

සුවිනීතා හාමිනේව ගෙදර එක්කන් යන්න හුඟක් මහන්සි ගත්තා. අම්මා ආවොත් ළමයින්ගේ ආරක්ෂාවටත් හොඳයි. සුවිනීතට හිතුණා.

සුවිනීතා ඉස්කෝලේ මහත්තයට බෙහෙත් අරන් දෙන්න කියලා හාමිනේට සල්ලි දුන්නා. දරුවෝ දුක් විඳලා හම්බ කළ සල්ලි ගන්න හාමිනේට දුකයි. ඒත් දුවගේ හිත නරක් වෙයි කියලා හාමිනේ සල්ලි ටික අතේ ගුළි කර ගත්තා.

“ටික දවසක් ඉන්න යමු කිව්වට අම්මා එන්නේ නෑනේ” සුවිනීතා නෝක්කාඩු කිව්වා

————–

රෑ නිදා ගන්න ඔන්න මෙන්න දුරකතනය නාද වුණා.

හාමිනේ නැඟිටලා ගියා. ඒත් ආවේ නම් එච්චර සතුටකින් නොවේ.

“පොඩි පුතා, හෙට එක්කන් යන්න එන්න ද අහනවා. දුවට සඳුදාටවත් වැඩට යන්න තිබුණොත් හොඳයි කියලා”

දෙන්නගේ හිතේ තිබුණ සතුට හොරු අරන් ගියා වගේ. දෙන්නම කල්පනාව

“මම ගිහින් එන්නම් ඉස්කෝලේ මහත්තයා. මම එහා ගෙදර කමලා දුවට වත් කියන්නම් ඉස්කෝලේ මහත්තයගේ කෑම බීම ටික බලන්න කියලා. වෙන මොනවා කරන්න ද? ඒ දරුවටත් වෙන කරන්න දෙයක් නැතුව ඇති”

හාමිනේ අහක බලාගෙන ම අන්තිමට කිව්වේ වෙන කරන්න ම දෙයක් නැති කමට.

හෙට ඉඳන් ඉස්කෝලේ මහත්තයා කන්නේ මොනවද? ලෙඩක් දුකක් හැදුණම මොකද කරන්නේ? හැන්දැවට තේ ටිකක් වත් වක්කර ගෙන බොයිද? හැන්දෑවට තට්ට තනියම මේ ගෙදර ඉන්නේ කොහොමද? දුක් මහන්සි වෙලා දරුවෝ හදලා දීග තල දුන්නට පස්සෙත් නිදහසක් නෑ නේද කියලා හාමිනේට හිතුණා.

ඉස්තෝප්පුවේ පුටුවට වෙලා හිටිය ඉස්කෝලේ මහත්තයා ඈත කළුවර දිහා බලාගෙන ඔහේ හිටියා. ජීවිතය පුරාම හෙවණැල්ලක් වගේ ළඟින් හිටිය හාමිනේ අද රැයෙන් පස්සේ මේ පාළු ගෙදර නෑ කියලා දැනුණම හදවත ඇතුළේ ගුළි ගැහුණ දුක, සෝකය පුපුරු ගහනවා වගේ ඉස්කෝලේ මහත්තයට දැනුණා. පපුවත් තද කරනවා වගේ ඉස්කෝලේ මහත්තයට දැනුණා. හාන්සි වෙලා ඉන්න අතරේම වමතින් ටිකක් පපුව අත ගා ගත්තා. ඉස්කෝලේ මහත්තයා හාමිනේ කියලා කතා කරන්න හැදුවත් වචනයක් වත් පිට වුණේ නෑ. ඒත් එක්කම ලොකු හුස්මක් ගත්තා.

හාමිනේ ඉස්කෝලේ මහත්තයගේ බෙහෙත් ටික තෝර ගන්න පහසු විදියට සුදානම් කළා. ඊට පස්සේ ඇඳුම් දෙක තුනක් ලෑස්ති කර ගත්තා. ඉස්කෝලේ මහත්තයගේ ඇඳුම් ටිකත් එක තැනකට කළා.

හාමිනේට ඉස්තෝප්පුව පැත්තෙන් නුහුරු හඬක් ඇහුණා. ඒ හඬට ඇහුම්කන් දුන්න හාමිනේට වෙනසක් දැනුණා. ඇඳුම් ටික එහෙම්මම දාලා හාමිනේ ඉස්තෝප්පුවට දුවගෙන ආවා.

අනේ ……………… බුදු මහත්තයෝ………………….

හාමිනේගේ විලාප හඬට එහා ගෙදර කමලා දුවගෙන එනකොට හාමිනේත් ඉස්කෝලේ මහත්තයගේ දෙපා මුල වැටිලා හිටියා.

https://www.silumina.lk/2024/08/31/news-features/24460/%e0%b7%83%e0%b7%90%e0%b6%b3%e0%b7%91%e0%b7%80%e0%b7%92%e0%b6%ba/

Nissanka Rajapaksa

unread,
Sep 1, 2024, 8:49:23 PM9/1/24
to INDRAKA group
4

අවබෝධය


මාලතී මොරායස්

"අපේ සර් නං නියම ම නළුවෙක් වගේ!" 

මේ පරණ කතාව සේනකට තවමත් ඇසෙන්නේ අද ඊයේ වගේ ය. එහෙත්… ඒ කාලයේදී නම් එය ඇසුණේ කනට ය; දැන් එය හෙණයක් මෙන් කඩාපාත් වන්නේ සිතට ය.

නළුවකුට සමාන නහයක්, ඊතල මෙන් හදවතටම කිඳා බහින ඇස්දෙකක් මෙන් ම රැලි කොණ්ඩයක් ද පිහිටා තිබුණේ පන්තියේ ගණිත ගුරුවරයා වූ නිමල් මාස්ටර්ට ය. නිමල් මාස්ටර් කියන්නේ සේනකගේ තාත්තා ය. තාත්තාගේ කඩවසම් පෙනුම ගැන එදා වැඩියෙම්ම ආඩම්බර වූයේ සේනක ය. ඒ කඩවසම් භාවය මේ වන විට හොරුගෙන ගියාක් වැනි ය.

සේනක හිඳ සිටින සැටියට කෙළින්ම පෙනෙන්නේ දොර උළුවස්ස යට නැංගුරම් ලා ඇති රෝද පුටුව ය. එහි පැත්ත වැටී ඉන්නේ ඒ තාත්තාම යැයි සිතා ගැනීම ලේසි නැත. කළු ලපවලින් මෙන් ම රැවුළු කොටවලින් ද හැඩි වූ ඒ මුහුණ අජූත ය; සිත කලකිරවනසුලු ය. මේ තමාගේම තාත්තා නේදැයි සිතා, කලකිරීම මැඬගැනීමට උත්සාහ කළ ද තමාට තමා අවනත නොවන අවස්ථා බොහෝ ය. තාත්තාට ද තාත්තා වෙනුවෙන් යමක් කරකියා ගන්නට හැකි වූයේ නම් මේ රෝද පුටුව අද මෙතැන තිබෙන්න බැරි ය.

ජීවිතය කියන්නේ මොනතරම් අලාමුළාවකට දැයි සේනකට සිතිණ. කොතෙකුත් සිත තුළ විදුලි කොටමින් පවතින්නේ වේදනාව මුසු සියුම් කෝපයකි. දුක් නොවී, කෝප නොවී සිටිය හැකිවන්නේ කෙසේ ද? සැනසීම රැඳී ඇත්තේ කොතැන ද? නිම්වළල්ලෙන් එහා හෝ එවැනි තැනක් ඇත්තේ ද? ‘සර් හරියට නළුවෙක් වගේ’ කිව්ව පන්ති සගයෙක් අද මෙතැනට පැමිණියේ නම්…

‘පිස්සු හැදෙයි’ සේනක තමාටම කියාගත්තේ ය.

‘මිනිහා කීයටවත් විශ්වාස කරන්නේ නෑ මේ නිමල් මාස්ටර් කියලා’

‘පුතේ… පොඩි පුතේ…’

‘ඒ පාර අම්මා’ යි සේනකට සිතුණේ අලුත් වුණ කෝපය ද සමඟිනි.

අම්මා ළඟටම පැමිණ සිටී. සැවැන්දරා සුවඳක් නික්මෙන්නේ අම්මාගේ සිල්රෙද්දෙනි. ‘බැරි සිල්’ යි සේනකට සිතෙයි; කෝපය ද අලුත් වෙයි.

‘මොක ද අම්මේ, අද පාළොස්වක ද?’

‘නැතුව? උඹ කන්තෝරු නොගියේ පෝය හන්දා නෙවෙයි නං වෙන අහවල් කාරණේකට ද?’

සේනක ඉවත බලාගත්තේ ය. ඉඩ ලැබෙන සෑම අවස්ථාවකදීම අම්මා දුවන්නේ පන්සලට ය. ඒ ගෙදර යම යුද්ධයෙන් බේරී, පුංචි නිදහසක් ලබන්නට ය. බණ මඩුවේදී අම්මා සිහින් හඬින් ගොරවනු සේනකට කිසියම් දිනෙක ඇසී තිබේ. අඩනින්දේ ගැලී සිටි අම්මා වරක් සාධු සාධු යි හඬ නඟා කීවේ දේශකයාණන් වහන්සේ ‘අපායෙන් ගිනිදැල් පැන නැඟිලා චිංචි මානවිකාව ඇදගෙන ගියා’ යි දෙසූ මොහොතේ ය. උපාසිකාවන් සිනාව තදකරගත් හඬින් මතුව නැඟුණේ බැලුම් පිපිරෙන හඬකි.

‘නිදාගන්න නං අම්මා මොකට ද පන්සල් යන්නේ?’

සේනකගේ ඒ ප්‍රශ්නයට අම්මා නිහඬ වන්නට ඇත්තේ ඊට සැපයිය යුතු උත්තරයක් ඇය පවා නොදැන සිටි නිසා විය යුතු ය. එහෙත් අම්මා තවමත් පන්සල් යයි. ඒ හැර යන්නට ඇති වෙන තැනක් ගැන අම්මා නොදනී.

‘මං යනවා. මේසෙ උඩ ඔන්න ඉදිආප්පයි සම්බෝලයි ඇති.’

සේනක නිහඬව සිටියේ දෑස ද පියාගෙන ය. එහෙත් පුතාගේ හොර නින්ද ගැන හොඳින්ම දැන සිටින්නේ අම්මා ය.

‘පරක්කු වෙන්නේ නැතුව තාත්තට කන්න දීපං. පිඟානටම බෙදලා නුදුන්නොත් තාත්තගේ අතින් පිඟන් දීසි බිඳිල යාවි. ඒ හින්දයි උඹට ඒක කරන්න කියන්නේ.’

‘බොරු කියන්න එපා අම්මේ’ යි කියවෙන්නට ගිය ද සේනකගෙන් ‘හ්ම්’ සද්දයක් පිටවුණේ නැත. අම්මාගේ කතාවේ යටි අරුත් ඔහු හඳුනයි. තාත්තාගේ අපවිත්‍ර දෑත්වලින් ආහාර බඳුන් ස්පර්ශ වීම අම්මාට හිසරදයකි. එහෙත් ඒ බව වචනයෙන් කියාපෑමට ඇගේ සිත ඉඩ නොදෙන්නේ තාත්තාගේ පුරුෂභාවය, ඒ ස්වාමි පුරුෂ පදවිය, ගරු කටයුත්තකියි ඇයට උගන්වා ඇති හෙයිනි. මනුෂ්‍යත්වයට මිනිසුන් විසින්ම කොතරම් නම් විලංගු ලා ඇත්තේ ද?

කුඩා කල තමාගේ වේලාපත්කඩය රැගෙන තාත්තා පන්සලට ගිය අවස්ථාවක ලොකු හාමුදුරුවන් පළ කළ අනාවැකිය සේනකට සිහිවිණ. ‘මහණකම’ පිළිබඳ සිතට ලැබුණ මුල්ම උත්තේජනය වන්නට ඇත්තේ එයයි.

‘මේ දරුවාට තියෙන්නේ බොහොම අසාමාන්‍ය හදහනක්. බලගතු ග්‍රහයෝ හරිම තැන්වල තමයි පිහිටල තියෙන්නේ. බොහොම පින්වන්ත දරුවෙක්. ඉස්සර නං මේ වගේ දරුවෝ භාර කළේ සාසනේට. මොකෝ ඉතිං? හත්මුතු පරම්පරාවක් නිවන් මඟට ගෙනියන උතුම් පුණ්‍ය කර්මයක් නේ?’

කුඩා සේනක බලා සිටියේ ලොකු හාමුදුරුවන්ගේ දිලිසෙන සුලු කහ සිවුර දෙස ය. සිවුර ගත දැවටී ඇති ආකාරය අපූරු ය. සේනක සිවුර සසඳා බැලුවේ වට දෙක තුනක් කරකවමින් අම්මා අඳින සාරියට ය. කුඩා සේනක සාරි අඳින්නට කැමැති ය. චීවරය දරන ගැසී ඇත්තේ සාරියට අනුරූපවම නොවෙතත්, එහි ද රැළේ වැටී තිබේ. ඒ, අමුතුම කලාවකට ය. සැණෙකින් මතකයට නැඟුණේ බුබුලේ නාමින්, ජල ක්‍රීඩා කරමින් විනෝද වන සාමණේරයන් වහන්සේලාගේ චීවර වතුරේ පාවී යන අයුරු ය; චීවරය රඳවා ගන්නට ඔවුන් තතනන්නේ හඬනඟා සිනාසෙමිනි. වැදගත්ම දේ නම් සාමණේරයන් පාසලට නොපැමිණීම ය. ඔවුහු පාඩම් නොකරති; විභාග වෙනුවෙන් නිදි නොවරති. ලේසිය… පහසුව… සැහැල්ලුව… නිදහස…

නිදහස ගැන කවුරු කවුරුත් මොන විදිහේ සුරංගනා කතා කීවත්, නිදහස යැයි සිතා සිටින තැන්වල කාටවත් නොපෙනන හිරවීම්, බන්ධන, ගැටලු පවතින බව සේනකට සාක්ෂාත් වූයේ සුමන පොඩි හාමුදුරුවන් බවට පත්ව සිටි කෙටි කාලය තුළ ය. මහණකම සේනක උපයා සපයා ගත්තේ ලේසියෙන් පහසුවෙන් ද නොවේ. අම්මා හා තාත්තාට ඒ වෙනුවෙන් කළ ඇවිටිලි, ගතුකීම්, හඬා වැටීම් බොහෝ ය. ඔහුට තදින්ම ඕනෑවී තිබුණේ පන්සලේ නිදහස අත්විඳින්නට ය. එහෙත්…

තාත්තාත් අම්මාත් සුමන පොඩිසාදු බලන්නට, හා හා පුරා කියා ආවේ පෙට්ටියක් පිරවූ රසකැවිලි දානයක් ද රැගෙන ය. අම්මා රසකැවිලි පෙට්ටිය මේසය මත තබා කඳුළු පිරි දෑසින් බලා සිටියදී සුමන පොඩි සාදු කඳුළක් හෙළුවේ දොරමුල්ලට ගුළි වෙමිනි. ඒ ලොකු හාමුදුරුවන්ට නොපෙනෙන පරිදි ය. පොඩි හාමුදුරුවන් පසු වුණේ රසකැවිලිවලින් සතුටු කළ හැකි මනෝභාවයක නොවේ. ලොකු හාමුදුරුවන් පිටව යන තුරු හොරගල් අහුලමින් හුන් පොඩි සාදු අම්මා වැලඳ හඬා වැටුණේ වැහිවලාවක් මෙනි.

‘අනේ අම්මේ, මාව ගෙදර එක්කං යන්න.’

‘පිස්සු කතා කරන්න එපා දරුවෝ’

අම්මාට එසේ කියවුණේ පුතුගේ පැවිදි භාවය අමතක කරවීමට තරම් ඒ ඉල්ලීම සාහසික වූ නිසා ය. එහෙත් අම්මාගේත් තාත්තාගේත් ඒ දැඩි සිත් මෙලෙක් කරන ලද්දේ ද කාලය විසිනි.

යළිත් වරක් සේනක බවට පත්වන්නට ඉඩ ලැබීම සිතට හැඟුණේ යුද ජයග්‍රහණයක් ලෙස ය. සේනක පුරුදු පරිදි පාසල් ගියේ ය. පාඩම් කළේ ය. විභාගයට ලිව්වේ ය. විභාග සමත් වී සහතික දිනා රැකියාවකට ද බැඳුණේ ය. ආදරය කළ සුමාලි සරණපාවා ගත්තේ ය. පවතින ක්‍රමයේ පොදු ඉලක්ක ගණනාවක් ඒ වන විට ඔහු තරණය කර තිබිණ.

එහෙත්… ජයගත්තේ මොන ඉලක්කය දැයි සිතෙන්නේ සිහිකල්පනාවෙන් යුතු පසුවිපරමක යෙදෙන විට ය. ඔහු සුමාලිට පෙම් කළේ ය. එසේ යැයි ඔහු සිතා සිටියේ ය. සුමාලි ද ඔහුට පෙම් කළා ය. ඇය සිතා සිටින්නට ඇත්තේ ද එසේ ය. එහෙත්…? ප්‍රේමය යැයි කියන්නේ කුමකට ද? ප්‍රේමයට දැන් කුමක් සිදුවී ඇත්තේ ද? සුමාලිගේ ප්‍රේමය දැන් දරුණු කෝපයකට පරිවර්තනය වී ඇත්තේ කෙසේ ද?

‘නොණ්ඩියව මෙහේ තියාගෙන මක්කරන්න ද?’ යි අද උදේ ඇය ඇසුවේ කෝපයෙනි.

‘නොණ්ඩියා?’

‘නැතුව? ඔය කපාපු කකුලට කෘත්‍රිම කකුලක් දාගන්න කියන්න, නිකං අපට පව් නොදී. එහෙම දෙයක් ලේසියෙන්ම කරන්න පුළුවන් වෙන්නේ ඉන්ග්ලන්ඩ්වල. කියන්නකෝ ඔයාගේ අයියල දෙන්නට. දෙන්නම ලන්ඩන්වලට වෙලා ජොලි කරනව. අපි මෙහේ නිකං පරිප්පු කනවා.’

මේ අසික්කිත කතාව හිත හාරාගෙන ගිය මොහොතේ ඔහු කේන්තිය පිට කළේ තේ කෝප්පයෙනි. එහෙත්… ද්වේශ සහගතව කීව ද එහි ඇත්තක් නැත්තේ ද නැත. ඒ ගැන වැඩිදුරටත් සිතා බලන්නට ඉස්පාසුවක් ලැබී ඇත්තේ දැන් ය. තාත්තා මෙතරම්ම විඳවන්නේ අසුවල් කාරණාවකට දැයි තමාට පවා සිතුණු අවස්ථා විරල නැති බව සැබෑවකි. එහෙත්…. තාත්තා තමාගේ ය. වේදනාවට හේතුව ඒ තමාගේකම ද? තාත්තාට ඇති ආදරය ද?

මහණකමේ රැඳී සිටියා නම් මේ දුක් වේදනා නැහැ නොවේ දැයි සිතූ සැණින් සේනකගේ සිතට යළි වැඩියේ සුමන පොඩිහාමුදුරුවෝ ය. යෝනි සෝමනසිකාරයෙන් යුතුව සේනක දැන් බලා සිටින්නේ සුමන නම් වූ ඒ නව යොවුන් යතිවරයාණන් දෙස ය.

සුමන හිමියෝ බණමඩුවේ ධර්මාසනයේ වැඩ සිටිති. වැඩිහිටි උපාසක උපාසිකාවන් මෙන් ම තරුණ තරුණියෝ ද උන්වහන්සේ වෙත පැමිණෙති. පසඟ පිහිටුවා වැඳ වැටෙති. ‘සුවපත් වේවා!’ යි මුවින් මුමුනන සුමන හිමියන්ගේ හදවතෙහිත් ඒ සුවය පවතින්නේ ද? ආකර්ෂණීය ගැහැනුන්, සුන්දර බිරින්දෑවරුන්, ඔවුන් කැටුව එන ස්වාමිපුරුෂයන් දෙස දයානුකම්පාවෙන්, මෛත්‍රී කරුණාවෙන් බලන්නට සුමන හිමියන් සමත් වන්නේ ද? ඒ හැම මුහුණක්ම රැගෙන එන්නේ තමාට අහිමි වූ කිසිවක් පිළිබඳ වේදනාවක්, හිස්බවක් බව සුමන හාමුදුරුවන්ට නොසිතෙන්නේ ද?

සේනකට සුසුමක් හෙළුණේ ය. මිනිස් හැඟීම් වර්ධනය වන්නේ මර්දනය කරන තරමට ය. රස පහස අත්නොවිඳි කිසිවකුට ඒ පිළිබඳ කුහුල මෙන් ම ආශාව ද ජයගත නොහැකි ය. ඒ බව සාක්ෂාත් කරගැනීම සඳහා මනුෂ්‍යයාට අවකාශයක් සලසා දෙන්නේ ආරාම පරිශ්‍රය නොව ගිහිගෙයයි. ගිහිගෙය ගිනි ගෙයක් බව තමාට අවබෝධ වූ මොහොත වන්නේ ද මෙයයි.

https://www.silumina.lk/2024/08/17/news-features/23555/%E0%B6%85%E0%B7%80%E0%B6%B6%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA/


Nissanka Rajapaksa

unread,
Sep 2, 2024, 7:36:12 PM9/2/24
to INDRAKA group
5
අනෝරා වැසි සහ තාත්තා 

- උත්‍රා කුමාරී රණසිංහ

මේ ගෙවී යන්නේ ගිම්හාන සමයේ අවසාන භාගයයි. ගස් කොලන් මෙතෙක් දරා සිටි වියළි
කොල හා සිහින් අතු ඉති බිමට සලා නැවුම් වීමට වෙර දරන කාලයයි. අරණායක.... සැලව කන්ද උඩින් හිරු පායා ඇවිත් කබරගළ ගංතුන පල්ලේගම ආදී අවට දුෂ්කර ගම්මාන වලට ද ඒ හිරු කිරණ සමසේ බෙදී යයි. පොලොව මත ඇති පස් තට්ටු සියුම් දූවිලි අංශු බවට හැරෙමින් සුළගට එක්ව ගසාගෙන යයි. දිප්පිටිය අරණායක ආදී නගරවල දහවල් කාලයේ දාහයෙන් දැවෙමින් අළුතින් පිළිසකර වෙන මංමාවත් වල වැඩ කරන මිනිසුන්ගේ
හා ගැහැණුන්ගේ මුහුණු වල දැඩි වෙහෙසකාරී බවක් පිළිඹිමු වී තිබෙයි.

හෙට දින අළුයම පාසැලට යන්නට පෙරදින රාත්‍රි යේ සියල්ල සූදානම් කළ මා නින්දට ගියේ
පාසැලට යාමට ඇති දුර ගැන සිතමිනි.

පුතේ... පුතේ.... නවෝදා
ඇහැරියන් පුතේ.. අද වෙලා ගිහිල්ලා වගේ

පාන්දරින් ඇසෙන පළමු හඬ අම්මාගේය.
තියෙන දෙයක් තම්බා පිළියෙල කොට කැන්ද කොලයක ඔතා තවත් කෙසෙල් කොළයක
 දවටා ඉතාමත් පරෙස්සමින් පාසැල් බෑගයේ
අයිනකින් අසුරා දීම අම්මාගේ දින චරියාවේ
තවත් අංගයකි.

කන්න තියෙන දෙයක් කාල...ඇගට හයිය ගන්න ඕන පුතේ.... ඉතුරු කරගෙන පිරුණු
කරලා ආපහු ගෙදර ගේනවා එහෙම නෙවෙයි
හොඳද..?

හරි හරි අම්මේ.....

මම දන්නවා ඔය කෑම ටික හදලා දෙන්නේ
මගේ බඩගිනි නිවන්නනේ. ඉතින් මොකට ඉතුරු කරනවද? අම්මට පිං දීලා ඔක්කොම ටික කාල දානවා මිසක්.
බිම බලාගෙන සිනාසෙන අම්මා ලඟට දිව ගොස් ඇගේ ගෙළ බදාගෙන සුරතල් පෑම මගේ
 සිතට ප්‍රීතිය දනවන හැඟීමකි.
උදෑසන පහ වෙනවිට විදුළි පන්දම දල්වා ගත් 
තාත්තා කැලෑපාර හා දිය කඩිති පසුවෙන තෙක් මා කැටුව පැමිණෙයි. හිරු රැස් යාන්තමට පොලොව එළිය කරන විට මා සමඟ ගමේ තවත් දරු දැරියන් එක්වන්නේ ඔවුන් ද මා යන පාසැලට යන බැවිනි.
මඟ දෙපස සරුවට වැඩුණු තණකොල හා
තුරුලතා පිනි වැටී දිලිසෙමින් පවතී. උසට 
නැගුනු කඳු පන්ති උඩින් මීදුම් දුම් වලලු 
ආකාරයට පාවෙමින් තිබේ. බාහිර පරිසරයේ
ශබ්ද නෑසෙන හෙයින් වක්කඩේ දිය වැල පහලට ගලන හඬ හොදින්ම ඇසේ.

පරිස්සමට අඩිය ගහපන් පුතේ......
ඔතැන ගල උඩ ලිස්සන්න බලනවා...

තාත්තා හැමදාමත් මට දෙන උපදෙසයි ඒ.
සරම කැසපට ගසාගෙන අත්කොට කමිසය  
ඇඳ හිසේ තුවාය ජටාවක් සේ ඔතා ගෙන පැමිණෙන තාත්තා හැම මොහොතකම විමසිළිමත් වන්නේ මගේ ආරක්ෂාව වෙනුවෙනි. විධිමත් අධ්‍යාපනයක් ලබා නොතිබුන ද ඔහු තරම් නුවැණැති අයෙක් මගේ පුංචි ලෝකය තුළ මෙතෙක් මා දැක තිබුනේ නැත. අම්මා හා තාත්තා ඔවුනගේ ජීවිතයෙන් වැඩි කොටස වැය කලේ මගේ ජීවිතය සාර්ථක කර ගැනීමට උදවු දීම වෙනුවෙනි. පාසැලේදී කුමන ජය ගැනීමක් මා ලැබුවද ඒ පිටුපස ඔවුනගේ දිරිය සැඟවී තිබුනි.
කිලෝමීටර හතක් පමන මේ දුෂ්කර ගමන යා යුතු බැවින් පාසැලට යනවිට උදේ අට පමන වෙයි. ගමේ පාසැලේ පන්ති පැවැත්වෙන්නේ
පහ වසර දක්වා පමනි. එතැනින් පසු නගරයේ පාසැලට යාමට සිදුවෙයි. එහෙත් සමහර ළමයි අතුරෙන් කිහිප දෙනෙකු මේ අභියෝගයට මුහුණ දුන්නද, බොහොමයක් ලමයි මවුපියන් හා එක්වී දළු කැඩීම, රබර් කිරි කැපීමට උදවු දීම, ආදී වැඩ වල නියැලී තම ජීවිතය සරි කර ගැනීමට වෙහෙසෙති.
අම්මාත් තාත්තාත් වැස්සෙන් තොර දිනවල
රබර් කිරි කැපීමෙහි නිරත වෙති. තම මවුපියන්ගේ පරපුර ද ජීවිකාව වශයෙන් කර ඇත්තේ මෙම රැකියා දෙක බැවින් මගේ ජීවන මට්ටම මීට වඩා ඉහල තැනකටගෙන යාම
ඔවුනගේ එකම අරමුණ විය. 
පොලාවට හිරු එලිය පතිත වන්නට පලමුව
කැලෑබද පාර අන්ධකාරයක ගැලී පවතී.
පාසැල් දමගෙන යන සපත්තු දෙක ඉදිරිපස ගැලවී පතුල ද හිල්වී ඇති හෙයින් රබර් සෙරෙප්පු දෙකක් පැලැද ගියද පාසැලට ගිය පසු සිතට මහත් අපහසුවක් දැනේ. සපත්තු පැලැඳ දුව පනින ලමයි අතර මගේ දෑස තෙත් වී යන වාර නැතුවා නොවේ. අම්මාගේ හා තාත්තාගේ මුහුණු වල කඳුළු දැකීමට ඇති අපහසුව මැද මම නිහඬ වී සිටිමි.

මහවැසි සහිත දිනවල දී මා ඇතුළු ගම්වැසි දරුවන් පාසැලට නොයන්නේ පාලමක් නැති ඇල හා දිය කඩිති ජලයෙන් පිරී දනහිස දක්වා වතුරේ බැස යාමට ඇති අපහසුව නිසවෙනි.
සමහර දිනවල එහි ජල මට්ටම ඉඟටිය දක්වා ඉහල යති. තාත්තා නගරයේ කුලී වැඩක් සොයාගෙන යන අතර අම්මා බීඩි එතීමට ත් පැදුරු හා වට්ටි වියා ඒවා අලෙවි කර ගැනීමටත් යුහුසුළු වන්නේ මේ වැසි සහිත කාලයේදීය.
පාසැල් යන දිනවල පොතපත හැරෙන්නට පාසැලේ බාහිර වැඩ වල යෙදීමට මා තුළ ශක්තියක් නොමැත. මගේ මුළු ශක්තියම යොදවන්නේ කිලෝ මීටර් හතක් පමන වූ දුෂ්කර මාර්ගය ගෙවා පාසැල් යාමත් නැවත නිවසට පැමිනීම ත් වෙනුවෙනි. තාත්තා
හැම දිනකම වාගේ ගස් කොලන් පිරි ලන්ද අතරමැද සිට මා එනතෙක් බලා සිටියි.
තාත්තා නොපැමිනි දිනවල තවත් ලමයින් අතර වුව ද සිතට බියක් හා තනිකමක් දැනේ.

අපගේ ජීවිත අතිශයින්ම කර්කෂය. මුළු ගමත් සොබාදහමත් නෑදෑයින් මෙන් එක්ව බැඳී සිටී. දැන් එළඹී ඇත්තේ වැසි සමයේ ආරම්භයයි. වර්ෂා ජලයෙන් මා ඔයට එක්වන ඇළ මාර්ගය උතුරා පිටාර ගලයි. ඒ කාලයේ මා ඇතුළු ගමේ ලමුන්පාසැලට යාමට නොහැකි බැවින් නිවසේම රැදී සිටින්නෙමු.
තාත්තා උදෙන්ම පිටවී ගියේ ගෙයක් හදන තැනෙක අත්වැඩ දීමට යන බව පවසමිනි.
සිරිතක් ලෙස තාත්තා පිටත්ව යාමට පෙර මම
ඔහුගේ දෙපා නමදිමි. එවිට මගේ හිස පිරිමදින තාත්තා තුනුරුවන් සරණයි ... වැස්සේ එලියේ දඟලන්න එපා පුතේ... කියාගෙනම පිටව යයි.
මම හිසවනා එම අවවාදය සනාථ කරමි.

සිහින් පොද වැස්සක්ව පැවතී වැඩිවී අනෝරා වර්ෂාවක් බවට පත්වෙද්දී අපි සිටියේ අපේම අසරන ලෝකය තුලය. එදා තාත්තා පිටව යනවිට පැවති කාලගුණය සවස් යාමය වන විට අයහපත් විය. මහා වැස්ස බිම් කලුවර පසුවෙන තෙක් පැවතියේය. තාත්තා දැන් දැන් එතැයි මාත් අම්මාත් මග බලා සිටිමුත් අම්මා පසුවූයේ දැඩි බියකිනි. අපේ නිවසට එන්නට තිබෙන්නේ ඇල මාර්ගයක් පසුකර බැවින් මා ඔයේ ජල මට්ටම වඩිවන විටඒ පෙදෙසද ජලයෙන් පිරී පිටාර යන බැවිනි.

අනේ පුතේ තාත්තාකවදාවත් මෙච්චර රෑ වෙලා ඇවිත් නැහැනේ.... ඇලේ වතුර පාරත් සැර ඇති.......

මම ගොලු වුන මුවින් ඔහේ බලා සිටියෙමි.

තාත්තට පීනන්න පුළුවන්නේ.....

මම අම්මාව සනසන අටියෙන් කීවෙමි.
එදා රාත්‍රී යේ තාත්තා නිවසට පැමිනියේ නැත.
මා තුළ වු මානසික කළබැගෑනිය නිසා නින්දක්
නොවීය. ගිහින් එන්නම් පුතේ කියා ගෙයින් පිටවූ තාත්තා නැවත කිසිදිනෙක නොඑන ගමනක්ගොස් ඇති බව අම්මත් මමත් සිහිනෙකින් වත් නොසිතුවෙමු.

වැසි ඇද හැලී මඩ කඩිති තැනින් තැන මතුවී ඇති පාර කොනේ ඇති අපේ නිවසට පාන්දර
 සිටම ගම්මුන් පැමිනියේ තාත්තා ගැන තොරතුරු සොයා බැලීමටය. ගෙයි ඉදිරිපස පැලක් තනා එතුළ ඉදිකල මැස්සක් මත සුදුරෙද්දකින් වසා තාත්තාගේ නිසල සිරුර
තැන්පත් කරතිබෙනු මම දුටුවෙමි. පියවී යන දෑසින් මම බිත්තිය අල්ලා බිම වැතිරුනෙමි. මාත් අම්මාත් වරින් වර සිහිසන්ව ගිය බව
මගේ යෙහෙලියක් පසුදින පවසන තුරුම
ඒ බව අපට නොවැටහිනි. මරණ පරීක්ෂනයෙන් අනතුරුව තාත්තා දියේ ගිලී මියගිය බවට සනාථ විය.

අම්මා වමත කම්මුලේ තබාගෙන කඳුළු වියලුනු දෙනෙතින් නොහඬා සිටියත්..., වැලැක්විය හැකි විපතක් ගැන සිතමින් ඇය පසුතැවිලි වූවාය. බිමට හරවා ගත් මුහුණු ඇති ගම්මු ගෙතුලට හෙමින් පිවිස මොහොතක් රැදී සිට ශෝකාකූල මුහුණින් කතා බහෙන් තොරව පිටවී යති.
තාත්තිගේ නිසල සිරුර රැඳී තිබු ස්ථානයේම නුදුරේ තිබී ඇත්තේගැටගැසූ සිළි කවරයක්
තුල පාවෙමින් තිබූ පාන් ගෙඩියක් සමඟ සීනි සහ තේකොල මුලකි..මතක වස්තර පූජාවෙන්
හා පාංශකූලයෙන් අනතුරුව තාත්තාගේ සිරුර
කනත්ත දක්වා ගෙනගියේ ගම්මුන් විසිනි.

තාත්තා අපෙන් සමුගෙන යාම පිළිබද ශෝකයට වඩාවැඩි කම්පනයකින් අපගේ ජීවිත අකර්මන්‍ය වී ගියේය. සයුරක් තරමට
හඬන්නට අවශ්‍ය වුවත් යලිත් තාත්තා නොඑන බව හැඟුන විට එම කඳුළු හදවත පතුලේ කිඳා බැස සුව නොවන තුවාලයක් සේ වේදනා දුනි. පාලුවට ගිය හදවතින් මමත් අම්මාත් සෙනඟ පිටුපසින් ඔහේ ඇවිද ගියෙමු.

මෙතැන් සිට මා ජීවත්විය යුත්තේ අම්මා වෙනුවෙනි.

 .

Nissanka Rajapaksa

unread,
Sep 3, 2024, 8:08:30 PM9/3/24
to INDRAKA group
6
අහවරක් නැති කතාවක්

- සඳිනි තෙන්නකෝන් 

කටු වැලකට අතේ සමේ පදාසයක් ද පූජා කොට, ඒ රත්මල් අතු කැබැල්ල තලවාකැලේ ලැයිමක මල් වැටකින් ගෙන විත්, පෝච්චියක ඉන්දුවේ සති තුනකට පෙර ය. මුලින් ම පෝච්චියේ පැල වීම එක හෙලාම ප්‍රතික්ෂේප කරමින්, දුන් වතුරද නොබී “මැරියන්!” කියාගත් ගමන් සිටි රත්මල් අත්ත අවසානයේ නිර්මලා ගේ ආදර අණසකට යටත්වී හිත හදාගෙන ජිවත් වන්නට පටන් ගත්තේ ය. පුරුදු පසෙන් ද, පුරුදු හුළඟින් ද, පුරුදු නෑ හිත මිතුරන්ගෙන් ද වෙන්කිරීම නිසා ඇති වූ සාංකාවෙන් සිය දිවි නසා ගන්නට ම හිතා හිටි රත්මල් අතු කැබැල්ල සනසනු වස්, නුවර එළියෙන් ම ගෙනා කහ රෝස පැලයක් ද පෝච්චිය පිටින් ම ලං කරන්නට තරම් නිර්මලා කාරුණික වූවා ය. එක ජාතියේ ම නොවුණ්ත්, කොළඹ සිට තලවකැලේට ඇති දුරට වඩා තලවාකැලේ සිට නුවර එලියට ළඟ නිසා ඒ දෙන්නා අතර මොකක් හෝ නෑ කමක් තිබෙන්නට බැරි නැතැයි ද නිර්මලා සිතුවා ය.

“ඕන්… දැන් ..හරි. පාළු නෑ හරි ද?” කහ රෝස පැළය දෑතින් ඔසවාගෙන විත් රත්මල් පෝච්චිය අසලින් තැබූ නිර්මලා, වැලි තැවරුණු තම දෑත බතික් ගවුමේ පිසදැම්මා ය.

ආලින්දයේ හාන්සිපුටුවේ හාන්සි වී සෙනසුරාදා හවස ආ ඉරිදා පත්තරය කියමින් සිටි සිරිතුංග, පත්තරය මෑත්කර බැලුවේ ගේට්ටුව දෙස ය. ගේට්ටුව අසල කිසිවෙකුත් නො සිටි බව දුටු සිරිතුංග, නිර්මලා දෙස බැලුවේ ය. හැලී ගොස් යාන්තම් තට්ටය පෑදෙමින් තිබූ කෙස්සේ ඉතිරි ටික හිස් මුදුනට කර කොණ්ඩා කට්ටක් ගැසූ නිර්මලා රත්මල් පෝච්චිය දෙසට නැමුණා ය.

“නෑයෙකුත් ළඟ ට ගෙනත් දීපු එකේ හිනාවෙලා ඉන්ඩ ඕන.. ”

ඇය රත්මල් ඉත්ත පැල කර තිබූ පෝච්චිය පිරිමැද්දා ය.

“දන්නවද?.. ඔයැයි ව ගලවන්ඩ ගිහිල්ල මගේ අතේ කටුත් ඇණුනා. ”

සිරිතුංග යලිත් වරක් පත්තරය කියවන්නට වුයේ ය. නිර්මලා යළිත් වතාවක් රත්මල් පඳුර දෙස ආදර බැල්මක් හෙලා නැගී සිටියා ය.

————————–

කෑම මේසයට හරි මැදින්, ඉහළින් කිරි පැහැති වීදුරු ගෝලෝවක්, තැම්බූ හාලේ බතුත්, පරිප්පු හොද්දකුත්, කරවල බැදුමක් සහ පොල් සම්බලක් එළිය කරමින් හුන්නේ ය. හෙලිකොප්ටර හඬක් නගමින් ආලෝක ගෝලෝව වටා කැරකෙමින් සිටි කළු කුරුමිනියෙකු බත් දීසිය මතට ඇද වැටිණ.

නිර්මලා ඌ අතින් අහුලා මිදුලේ කළුවරට විසි කළා ය.

“කාල ඉන්ඩ..”

සිරිතුංග තවමත් හාන්සි පුටුවේ දිගෑදී හුන්නේ ය. පත්තරය ඔහු පාමුල වැටී තිබුණි. ඔහුට නින්ද ගොස් ඇතිදැයි සැක හිතුණු නිර්මලා, සිරිතුංග වෙතට එබුණා ය.

ඔහු නින්ද ගොස් නැති බව හඟවන්නට “…හ්ම්..” ගෑවේ ය.

“යමු.. කාල ඉන්ඩ. .”

ඔහු බඩගිනි නැති බව හඟවන්නට හිස වැනුවේ ය.

“ආ… එහෙම කොහොමද? යමු යමු.. බඩගිනියි මටත්.”

ඔහු නැගී සිටියේ ය. එහෙත් ගෙට ඇතුළුවම් දෝ නොවම්දෝ මෙන්, උළුවස්ස අල්ලාගෙන තාවර වුණේ ය.

“යං .. යං… මං බෙහෙත් බොන්ඩ ඕනේ… හෙට මාව දොස්තර කෙනෙක් ගාවට ගෙනියන්ඩත් තියෙනවනේ. ඒ නිසා වේලපහ නිදාගන්ඩ ඕනේ අපි දෙන්නම ..”

————————–

“පුතා… පුතාට? ”

පළමු බත් හැන්ද, ජොන්සන් පිඟානේ වූ රෝස මල් කිනිත්ත වසාගනිත්දී සිරිතුංග ඇසුවේ ය.

“පුතා කාල එන්නේ… අපි කමු”

පිඟන් හා තසිම් වාටිවල හැඳි ගැටීම නතර වූ විට, නිවෙස පුරා පැතිර ගියේ මළ සොහොන් පාලුවකි.

————————–

සිරිතුංග බත් ඇට ඇඟිලි තුඩින් පෙරළන අයුරු නිර්මලා බලා සිටියා ය. ඔහු කටවල් තුනක් කා වතුර බීවේ ය.

තවත් බත් කටක් කෑ නිර්මලා ද නැගී සිටියා ය.

————————–

” බෙහෙත්…”

වතුර වීදුරුවක් ද අතැතිව ආ සිරිතුංග, අනෙක් අතේ වූ බෙහෙත් පෙති කිහිපය නිර්මලාට දිගු කළා ය.

සිවිලිම දෙසට අයාගත් මුව දෙසට අත ලං කළ නිර්මලා, සිරිතුංග අනෙක් අතට දුන් වතුර වීදුරුව උගුරු දෙකට හිස් කළා ය.

“දැන් ඔයත් බෙහෙත් බොන්ඩ ඕන ….”

————————–

මුළුතැන්ගෙයට ගිය නිර්මලා, ගවොම් කර තුලින් බෙහෙත් පෙති කිහිපය එළියට ගත්තා ය.

ඉනික්බිති වතුර වීදුරුව යළිත් පුරවාගත්තාය.

කාමරයේ ඇඳේ දිගාවී සිටි සිරිතුංග, ඇඳ විත්තමට කොට්ටයක් තබා කෙළින් වී හිඳගත්තේ ය. පෙරෙත්තයක් නැතිව ම බෙහෙත් කරල් කිහිපය ගිල්ලේ ය.

“පුතා… පුතා ආවද?” ඔහු ඇසුවේ ය.

“අද යාලුවෙක්ගෙ ගෙදර නවතිනවයි කිව්වා… කෝල් කළා…”

නිර්මලා කාමරයෙන් යාමට හැරුණා ය.

“අපි පුතා ගැන මීට වඩා හොයල බලන්ඩ ඕන නිර්මලා…”

නිර්මලා දිගු සුසුමක් හෙලා කාමරයෙන් පිටව ගියා ය.

————————–

ඉස්තෝප්පු එළිපත්තේ වූ නිරිවස්ත්‍ර වොට් පහේ විදුලි බුබුල හැරෙන්නට ඉතිරිවා නිවී යනවිට තවත් අඩ පැයක් ගතව තිබුණි.

————————–

ඉස්පිරිතාල පෝලිම දිගුව තිබුණි. දුඹුරු හැට්ටයකට කහ මල් සුදු සාරියක් හැඳ සිටි නිර්මලා සිරිතුංගවත් ඉස්සර කර කාමරය තුළට ඇවිද ගියා ය.

උපැස් පැළඳ සිටි තුරුණු දොස්තරවරිය පියකරු සිනාවක් පෑවා ය. ඇය ඉදිරිපිට මේසය මත දීප්තිමත් කහ පැහැති සෙල්ලම් වලහෙක් වීය.

“වාඩිවෙන්න…. දැන් තාත්තගේ ඔලුවේ කැක්කුම හොඳද?”

“දැන් අඩුයි නෝන.. බෙහෙත් ටික හෙම වෙලාවට දෙනවා මෙයා… ” සිරිතුංග කිවේ ය. දොස්තරවරිය සිනාසුනා ය.

“හොඳයි නේ… එහෙම තමයි ඉන්න ඕන…”

“නෝන… මේ මෙයාටත් මම වෙලාවට බෙහෙත් දෙනවා.. මතක් කළේ නැත්නම් බොන්නේ නෑ… තාම අර කකුලේ අමාරුව හොඳ නෑ නෝන”

නිර්මලා උපැස් යුවල නාසය දිගේ ඉහලට තල්ලු කරන මුවාවෙන් ඇස් කෙවෙනි පිස දැම්මා ය.

“මෙයැයි මේ තුන්ඩුවත් අරන් බෙහෙත් පෝලිමේ ඉන්ඩ. මං කකුල පෙන්නලා එන්නං…”

සිරිතුංග නැගී සිටියේ ය.

“ඔක්කොම ලෙඩ කියන්ඩ… අර වැස්ස දාට අල්ලන දණිස් අමාරුව හෙම..”

“හා.. හා.. යන්ඩ යන්ඩ පෝලිමට..එතකොට ගෙදර යතෑකි විජහට..”

නිර්මලා සිරිතුංගව වචනවලින් එළියට තල්ලු කළා ය.

————————–

කාමරය නිහඬ වී තිබුණි. කාමරයෙන් පිටත ලෙඩුන් ගේ ඝෝෂාව විය.

ඇසෙන් ගැලවුණු නිර්මලාගේ කණ්ණාඩි, උකුල මත වූ සාරි පොටෙන් පිස දැමෙමින් තිබුණි.

“දැන් සෑහෙන්ඩ හොඳයි… දෙයියන්ගේ පිහිටෙන් ජීවිතේට මුකුත් කරගන්ඩ හැදුවෙත් නෑ ආයේ.. එත් මං හොඳ හෝදිසි පිට ඉන්නේ… දැන් ඔක්කොම මතකයි නෝන. පුතාට වෙච්චි දේ ඇරෙන්ඩ අනික් ඔක්කොම මතකයි…පුතා තාම විශ්ව විද්‍යාලේ යනව කියලයි එයැයිට මතක.. පත්තරෙත් බලනව. එත් කොයිකටත් එක්ක කියල අපිට වෙච්චි කරදරේ වගේ කතන්දර තියෙන පිටු අහක්ක කරලයි පත්තරේ කියවන්ඩ දෙන්නේ..”

“බෙහෙත් ටික වෙලාවට දෙන්ඩකෝ අම්මා..”

“මං දෙනවා නෝන. එයයි හිතන් ඉන්නේ මාත් බෙහෙත් බොනවයි කියල. එයාගේ බෙහෙත් ටික මටත් ගෙනල්ල දෙනව. මං බිව්වා කියල හිතාගත්තම බල කරන්ඩ ඕන නෑ…”

දොස්තරවරිය තවත් තුණ්ඩුවක් ලීවා ය. නිර්මලා නැගී සිටියා ය.

“නෝන… මේ සනීප වෙච්චි හරිය ඇති නෝන. මේ ඉන්න විදිය මදැයි… එයැයිට පුතාට වෙච්චි දේ මතක් වෙන්ඩ දෙන්න එපා.. මං වගේ නෙමෙයි.. එයැයි හරි දුර්වලයි…”

————————–

කොළ පැහැති ත්‍රිරෝද රිය මල් දෙවැට පසුකර විත් නතර විය. නිර්මලා මුලින් ම රියෙන් බැස්සා ය. සිරිතුංග මුදල් ගෙවන්නට නතර විය.

කනප්පුව මත දවසේ පුවත්පත විය. දොර හරින්නට යතුර අතට ගත් නිර්මලා, දොර හරින්නට පෙර පුවත්පත අතට ගත්තාය. හිටගෙන ම පිටු පෙරළුවා ය.

හෙරොයින් ග්රෑම් දහයක් ළඟ තබාගත් විසි තුන් හැවිරිදි තරුණයෙකු ජීවිතාන්තය දක්වා සිරගෙට නියම වූ පුවතක් දෙවැනි පිටුවේ විය.

————————–

ගෙදරට අඳින සැහැල්ලු බතික් ගවුමෙන් සැරසුණු නිර්මලා, රත්මල් පෝච්චිය අසල නැමී සිටියා ය.

රත්මල් රිකිල්ල උඩ, අඩක් කා නිම කළ පත්‍රයක් තවදුරටත් රසබලමින් සිටියේ පිට මැදින් රත් පැහැ ඉරක් තිබූ කළු දළඹුවෙකි.

“ආව ඉතින් අමාරුවෙන් වවාගත්තු මල් පැලේ කන්ඩ…”

නිර්මලා දළඹුවා අත මිටට ගෙන ඈතට විසි කළා ය.

ඇඳුම් අහවර කළ සිරිතුංග, ආලින්දයේ හාන්සිපුටුවේ හාන්සි වී, දෙවැනි පිටුවක් නැති ලංකාදීපය කිවමින් සිටියේ ය.

Nissanka Rajapaksa

unread,
Sep 4, 2024, 7:18:38 PM9/4/24
to INDRAKA group
7
කරුමය

ඉන්දීය ලේඛක කුංස්වන්ත් සිංගේ කෙටිකතාවක්

පරිවර්තනය චන්දන මෙන්ඩිස් 
(ඉරිදා මව්බිම පුවත්පතින්)



Nissanka Rajapaksa

unread,
Sep 5, 2024, 7:31:07 PM9/5/24
to INDRAKA group
8
උඹ දුන් බල, කැඳ ගොටුකොල 

- Dhammika Wickramaarachchi 

"මහත්තය කොහොමද කැඳ එක හොදද?"
අප්සරා ඇස් හීනිකරල එහෙම අහනකොට ඇගේ කට හඬේ වගේම මූනෙත් තිබ්බෙ හරි ආදරණීය බවක්.

" ඔව් අප්සරා වෙනද වගේම රසයි"

"මහත්තය දැන් දහ දොළොස් සැරේකට වඩා මගෙං කැද බීල තියනවා මං එක්ක ගොඩාක් කතාකරල තියනව මංගැන මහත්තයට මොකද හිතෙන්නෙ මහත්තයා?"

අප්සරාගේ අනපේක්ෂිත ප්‍රශ්නයට හරි උත්තරයක් ගොනුකරගංඩ බැරුව මං එයාලඟ ගොලු උනා.

විදේශීය සංචාරකයින් එක්ක අනුරාධපුරයේ අපි නිතරම සංචාරය කරන තැනක අද්දර තමයි මේ පොඩි කැඳ කඩේ තියෙන්නෙ කඩයක් කිව්වට ඒක මඩුවක් වගේ එකක්.

අපේ කතා නායිකාව අප්සරා කලු උනත් හොද රූ සපුවක් ඇත්තියක්. මං හිතන්නෙ වයස තිස්පහක් විතර ඇති. මං ඇය ගැන දන්නෙ මගේ වෘත්තීය සගයෝ වෙච්චි වෙනත් ටුවර් ගයිඩ්ල කිව්ව දේවල් වලින් තමා නමුත් ඒවා අප්සරාගෙ මූනට කියන්න පුලුවන් දේවල් නෙමෙයි.

ඔවුන් හැමෝම කිව්වේ කැඳ කඩේ කෑල්ල සෙට් කරගංඩ පුලුවං කියලයි. මීට පෙර ඇය ගයිඩ්ලා දෙදෙනෙකු සමග පව්ල්කා ඇති බවත් හැමෝම අතර ප්‍රසිද්දයි. බහුතරයක් තරුන ගයිඩ්ලා අප්සරා එක්ක කතාකලෙත් අමුතු විදිහට. ඒ කතාවල තිබ්බෙ අනියමින් කරන ලිංගික ආරාධනා වගේ දෙයක් කියල මට කීපසැරයක් හිතුන.

කැඳ බොන්න ගියත් අහන්නෙ ආ අක්කෙ අද පෙනෙල කැඳ නැද්ද කියල.. මේ කැඳ බීල අපිව කුලප්පු උනාම අප්සරා ඒව බලගංඩ ඕනෙ කියල සමහර නාකි ගයිඩ්ලත් කියනව මට ඇහිල තියනව. ඇය හිනාවෙමින් තමන්ගේ රස්සාව කලා මිසක් ඒවට උත්තර බැන්දෙ නෑ...

අන්තිමේ මමත් කොහොමහරි අප්සරාගෙ කැඳ හැලියට වැටුනා.

"අයියේ උඹටත් ඕනෙනම් ඕකිව අල්ලංඩ පුලුවං ඈ"

කොල්ලො එහෙම කියල හිනාවෙංඩ ගත්තා.

"අනේ පලයල්ල යංඩ මං ඒ ජාතියේ නෙමේ" කියල උත්තර දුන්නත් මාත් එයාට ආසකලා.

මට එයාගෙ ජීවිත කතාව හාර අවුස්සංඩ ආස හිතුනත් ඒකට සුදුසු වෙලාවක් ආවෙ නෑ. අනික තමයි කැඳ එකක් බොන්න ආවම අපේ කොල්ලො ඉන්නවා උං අප්සරාට දෙපිට කැපෙන කුනුහරප කියන එකමයි වැඩේ. අප්සරාට වඩා ගොඩාක් බාල අය වගේම වල පයයි ගොඩ පයයි තියාගෙන උන්න උනුත් ඇය එක්ක නොහොඹිනා දෙයක් මයි කිව්වෙ.

දවසක් ඇය මගේ ආරාධනයකින් තොරවම යමක් කියන්න උත්සාහ කලා.

" මහත්තය හිතනව ඇති මං වල් ගෑනියෙක් කියල නේද?"

"නෑ අප්සරා ඇයි මං ඔයාගැන එහෙම හිතන්නෙ"

"මාව ප්‍රසිද්ද වෙලා තියෙන්නෙ එහෙමයි මහත්තයා ඒත් මං වල් ගෑනියෙක් නෙමෙයි"

ඇය එහෙම කිව්වේ බිම බලාගෙන බොහොම දුක්මුසු ස්වරයකින් ඇය ඔලුව උස්සනකොට මම ඇගේ නෙතග කඳුලු බිඳු දෙකක් දැක්කා මම ඉක්මනට වටපිට බැලුවෙ වෙන කව්රුවත් අපිව බලාන ඉන්නවද කියල. කිසි කෙනෙක් ලගක හිටියෙ නෑ ඇය මදක් නැමී ඇය ඇදසිටි ගව්මෙන්ම කදුලු පිහදාන කොට මම ඇගේ කාලවර්ණ ලස්සන කලවා හොදට දැක්කා

"මං පොඩිකාලෙ ඉදං ගොඩාක් කරදරවලට මූනදුන්න මහත්තය තාත්ත වකුගඩු ලෙඩේ හැදිල අකාලයේ මැරිල ටික කාලෙකින් අම්මත් නැති උනා වාහනේක හැපිල.

මං තනි උනා මහත්තය එතකොට මට වයස දා හතරයි මට හැමෝම ආදරේ කරන්න ගත්තා මාමල බාප්පල ඔක්කොම මට ආදරේ කලා හැබැයි ඒ මොකටද කියල එක දවසක මං තේීරුම් ගත්ත එදා තමයි මං ගෑනියෙක් උනේ මහත්තය

ඊටපස්සේ ගොඩාක් දේවල් සිද්ද උනා රටේ කීපතැනකම රස්සාවක් කරල ජීවිතේ ගොඩදාගන්න හැදුවත් බැරි උනා අන්තිමට වටේ ගිහිං ගමටම සේන්දු උනා මහත්තය ..මං අපේ ගරාවැටිච්ච ගේ පිලිසකර කරාන ඒකෙ පදිංචි උනා
මං දන්නෙ නෑ ඇයි මං මහත්තයට මේව කියන්නෙ කියල මහත්තයට මං මේව කියනෙක කරදරයක්ද?"

"නෑ අප්සරා කියන්න මං ආසයි ඔයාගෙ කතාව අහන්න"

"ඉතිං මහත්තය මං තනියම ඒ ගෙදර නිදාගත්තම මට හරි පාලුවක් දැනුන මහත්තයා ඒ පාලුවම ගමේ ගොඩාක් උංටත් දැනිල තිබ්බා රෑට රෑට මගේ ගේ වටේ උං කරක් ගැහුවා සමහර දාට දොරට තට්ටුත් කලා"

"ඉතිං ඔයා පොලීසියට ගියේ නැද්ද"

"මොකෝ නැත්තෙ මහත්තයා පැමිණිල්ල විභාග කොරංඩ ආපු එකාටත් ඕනෙ උනේ මගේ පාලු කපන්න... වැඩක් උනේ නෑ මහත්තය"

ඊට පස්සෙ"

"මට මහා පාලුවක් දැනුන මහත්තය මාත් ආසකලා මං ළඟින් මිනිහෙක් ඉන්නවට මට ආදරේ කරනවට"

"ඔයාට එහෙම කෙනෙක් හමු උනේම නැද්ද"

"මිනිස්සු තනියම හිටපු මාව ලේබල් කලේ නරක ගෑනියක් විදිහට හැබැයි මං ගමේ උං එක්ක බුදියල නෑ මහත්තයා උංනං උත්සාහ කලේම ඒකට"

"ඉතිං"

"ඉතිං ඊට පස්සෙ මං මේ කැඳ කඩේ දැම්මෙ ජීවත්වෙංඩ...
මෙතනට කැඳ බොංඩ ආව ගයිඩ් මහත්තයෙක් මං එක්ක බොහෝම හිතවත් උනා එයා කතාකලේ හදවත අතට අරං.. 
දුප්පත් මගේ හිතේ ලස්සන හීන මැවෙන්න ගත්තා ඉතිං එයා අපේ ගෙදර ආවා නිතර නිතර ගෙදරට ඇවිත් යනකොට අඩුගානෙ පොතේ අත්සංකරල කසාද බදිමු කියල මං කිව්වත් එයා ඒක පහුකලා.මම එයාව විශ්වාස කලා..

කොහොම හරි මගේ ලෝකෙට පුරහඳ පෑව්වා වගේ උනා මාස හත අටක් යනකොට අමාවක ලැබුවා....
ඒ ගයිඩ් මහත්තය අතුරුදං උනා....

"මං ඇඬුවා හිතේ දුක තුනීවෙනකං ඇඬුවා මිනිහෙක්ට එහෙම කරන්න පුලුවන්ද මහත්තයා....මිනිහෙක්ට එහෙම කරන්න පුලුවන්ද"

"මං බොරුකලේ නෑ මහත්තය එයාලයි මාත් එක්ක නිදාගන්න ඕනෙවට මට බොරුකලේ ලෝකෙ තියන ඔක්කොම බොරු කිව්වේ එයාලා.
හැබැයි වේ,ස ගෑනි උනේ මං. 
උං අදත් එයාල කරපු වීරකම උජාරුවෙන් තව අයට කියෝනව ඇති මං ඒක දන්නවා ඒව මහලොකු වීරකංද මහත්තය? මේ වන්නි හත්පත්තුවෙ නූගත් ගෑනියෙක්ට හීන ලෝකයක් මවා පෙන්නල රවට්ටල ඒකි එක්ක නිදියල පැනල යන එක වීරකමක්ද මහත්තය"

"කාලය ඔහොම ගෙව්නා...ගෑනියෙක් අඬනකොට කඳුලු පිහදාංඩ මිනිස්සු ගොඩයි මහත්තයා...ඔව් මං ආයෙත් මෝඩ උනා මගේ දුක අහල මංගැන බොහෝම දුක් උන තවත් ගයිඩ් මහත්තයෙකුට මං ආදරේ කලා..

කියංඩ තියන ලෝකෙ නැති ඔක්කොම බොරු මට කියල තමයි මාව රවට්ටගත්තෙ මම හිතුව එයාවත් මාව රැකබලාගනී කියල එයත් කලේ ඉස්සෙල්ල මිනිහ කරපු දේ ...
මිනිහෙක් මාව දාලගියාට පස්සෙ ආයෙ ජීවිතේ ගොඩනගාගංඩ උත්සාහ කරන එක වල්කමක්ද මහත්තයා?"

මං මිනිස්සු දෙන්නෙක් එක්ක හිටියබව ඇත්ත ඒත් මං සල්ලිවලට සරීරෙ වික්කෙ නෑ මං බොරුකලේ නෑ මගේ තිබ්බෙ ජීවිතේ පව්ලක් විදිහට ගොඩනගාගන්න බලාපොරොත්තුවක් උනුයි උංගෙ ආත්මෙම වංචාකලේ ගෑනියක් එක්ක බුදියගංඩ.
හැබැයි නරක ගෑනි උනේ මං

 දැං ගොඩාක් අයට ඕනෙ ඉස්සෙල්ල දෙන්න කරපු දේ කරන්න..මං ජීවිතේ කාටහරි ආදරේ කරනවා කියනඑක අනිත් උංට පේන්නෙ මං වල්කම් කරනවා වගේ ඇයි මහත්තය ඒ?"

"අප්සරා ඕව දැන් අමතක කරංඩ කවදාහරි ඔයාට හොද කෙනෙක් ලැබෙයි"

"නෑ මහත්තය මිනිස්සු ගොඩාක් මගෙං කැඳ එකක් බොන්න එන්නෙත් වෙන දේකට පොට පාදගංඩ පුලුවන්ද බලංඩ කියල මං දන්නවා"

"හැමෝම එහෙම නෑ අප්සරා"

" මහත්තය වැරදියට හිතන්නෙ නැත්නම් මම පොඩි දෙයක් කියන්නද"

"ඕනෙ දෙයක් කියන්න අප්සරා"

"මහත්තය මහත්තයගෙ නෝන ගැන ළමයි ගැන ආඩම්බරෙන් මට කියද්දි මට හිතුනෙම මම හෙව්වෙ මේ වගේ කෙනෙක් නේද කියලා මහත්තයා කවදාවත් මට නරක දෙයක් ගැන ඉඟියක්වත් දීල නෑ මහත්තය බොහොම වැදගත් විදිහට හැසිරෙන්නෙ.. 
මහත්තය දැක්කහමත් මගෙ හිත සතුටින් පිරෙනවා.මහත්තය බෝධිසත්වයෙක් වගේ
මහත්තයව දකිනකොටත් පුදුම විදිහට හිතේ ආදරෙයක් ඇතිවෙනවා මාව වරදවා හිතන්න එපා මහත්තය"

මගේ හිත ගොඩාක් බර උනා... 
මේ කතාවෙදි මාත් අප්සරාට ආදරේනම් පව්ල් ජීවිත බිඳෙන්නෙ එහෙම වෙංඩ ඇති.. 

හැම මිනිහම ගෑනුංව අල්ලන්නෙ එකම විදිහට නෙමේ කියල මේ ගම්බද කෙල්ලට අවබෝදයක් නෑ

මේ තරුණ කාන්තාව ආයෙ රැවටෙන්න ඉතාම ආසන්නයි කියල නෙමේ දැනටමත් තව එකෙකුට රැවටිලා කියල ඇය දන්නෙත් නෑ...

බොරු කියංඩ ඕනෙ නෑ යාලුවො කියපු දේවල් අහල මං අප්සරාගෙ කැඳ බොන්න ආවෙත් වෙන අදහසක් හිතේ තියාගෙනම තමයි..



Nissanka Rajapaksa

unread,
Sep 6, 2024, 8:33:47 PM9/6/24
to INDRAKA group
9
සුනඛ වෘත 

- චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න 

එකී ගැහැණිය බල්ලන් කෙරෙහි අසීමාන්තික ඇල්මකින් යුක්ත විය. මා පළමු වර එකී නිවසට යන විට මහළු කාන්තාවක් විලාප දෙමින් උන්නා ය.

"මේ බල්ලා අහකට ගනින් , ඌ මාව කෑවා , ඌ මේං මෙතන චූ දාලා , මේ... මේං මෙතන ජරා කරලා ..."

නමුදු මැහැල්ලගේ විලාපයට ඇහුම්කන් දෙන කිසිවෙකුත් මෑත නොසිටියේ ය.

බල්ලෙකු සපා කෑ තුවාල කිහිපයක්ම මැහැල්ලගේ පාදයේ විය. 

මා දෙවන වර එකී නිවසට ගියේ මැහැල්ලගේ මරණය වෙනුවෙනි. බල්ලා විසින් ඇගේ මරණය වඩාත් ඉක්මන් කර තිබුණි.

එවක එක් බල්ලෙකුට පමණක් සීමා වූ එකී නිවස පසුකාලීනව බල්ලන් කිහිපදෙනෙකු , පූසන් කිහිපදෙනෙකු වෙනුවෙන් නවාතැන් සපයා තිබූ බව දැනගත්තේ තේමිය වෙතිනි.

"ඒක මහ හරි අපිරිසිදු ගෙදරක්. මැක්කෝ හතර වටේ. මං මුලු රෑම කසමින් නිදා ගන්නේ. මැක්කො ඒ ගේ ආක්‍රමණය කරලා. ඒ විතරක් යැ , එක බල්ලෙක් බෙටි දාන්නේ කෑම මේසෙට නැගලා. ඌ හොරි තුවාල සහිත බල්ලෙක්. ඌ නිදාගන්නෙ අපි නිදාගන්න ඇඳේ.."

"හරි කරදරයක් මට වුණේ. හිස පීරද්දී පවා ඉඳහිටක මැක්කො වැටෙන්න ගත්තා. ගේ ඇතුලෙ බලු බෙටි කිහිපයක් වැරදුනේම නෑ.. "

"ඉතින් තේමියට තිබුණා ඒවට අනුවර්තනය වෙන්න , එහෙම දැන උගත් ගැහැණියකගෙන් වෙන් නොවී.. " 

මා එසේ ඇසුවේ පැහැදිලි අවඥා සහගත බවකිනි.

පසුතැවීමක ලක්ෂණ හැරුණකොට පිළිතුරක් දීම පළමුකොට තේමිය මගහැරීය. සිගරැට්ටුවක් දල්වා ගිණිකූර බිමට දමා පාගා ඔහු සෙමින් කතාවට අවතීර්ණ විය.

"බුදුන් වහන්සේ පවා එක එක පෙරේත තල වල ජීවත් වෙන මිනිස්සු ගැන දේශනා කරලා තියනවා. ඒ ජීවත් වෙන්නේ පෙරේත තලයක කියලා උන් නොදන්නා තාක් ඒක රජ ගෙයක් වෙනවා. 

බැඳලා අවුරුද්දක් දෙකක් වෙන , දරුවෙක් මල්ලෙක් නැති ගෙදරක නිදන කාමරේ කියන්නේ බොහෝ සුගන්ධවත් තැනක් වෙන්න ඕන. නමුත් මේකෙ බලු ගඳම විතරයි. බලු මයිලක් නැති ඇඳුමක් , කෑමක් , බීමක් , උපකරණයක් නැති තරම් , ඉන් පසුවයි මැක්කන් ආක්‍රමණය කළේ..."

"නමුත් මම හිතන්නෑ ඒක වෙන් වෙන්න හේතුවක් ය කියලා.. "

මා ගණනකට නැතිව කීවේ තේමිය යම්තාක් දුරකට හෝ කේන්ති ගන්වන අදහසිනි. කේන්තිය සහ බීමත්කම බොහෝ මිනිසුන් විවර කර තබයි.

"ඕනෑම දේක සීමාවක් තියනවා. මිස්ටර් කරුණාසේන පිළිගනීද දන්නෑ උන් මහ අසහනකාරී බල්ලො.. වැරදීමකින් හෝ කකුළක් ඇඳෙන් , පුටුවකින් පහතට යොමාගෙන හිටියොත් එක් බල්ලෙක් ඇවිත් ඇඟේ නැගලා මොකක්දෝ දෙයක් කරනවා.. "

තේමියගේ මුහුණ රතු විය , එය සැබැවටම බැලිය යුතු මුහුණකි...

තේමියගේ පිළිතුරෙන් මා තරමක් හඬින් සිනාසීමි. එකී බොහෝ කාරණා ඇදහීමට මා මැළි නොවුණත් තේමියගේ ඉදිරිපත් කිරීම ඔහුට විකට රූපයක් ආරූඪ කළේ ය.

"මම හිතන්නේ මටත් නොදැනිම මට ඒ කසාදෙ ඇතුළෙ බල්ලොත් අතවර කළා.."

අවසන් වචන කිහිපය තේමිය කීවේ උපේක්ෂා සහගත ළදරු සිනහවක් සහිතවය. 

නැවත ලංකාවේදී කිසිදු දිනයක තේමිය හමුවූ වගක් මට මතක නැත. නැවත සිය රටට පැමිණීම ඔහුට මහා අපුල හැඟීමක් වග වරක් දුරකතනයෙන් ඔහු මා හා පවසා තිබිණි.

වෘත්තීයමය අවස්ථා කිහිපයකදී හැරුණුකොට මා එකී නිවසට ගොස් තිබුනේ මැහැල්ලගේ මරණය වෙනුවෙනි. මෙවර වසර කිහිපයකට පසු නැවතත් මට එකී නිවසට යාමට සිදුවිය.

බල්ලන් කිහිපදෙනෙකු ගේ තුළින් බුරන හඬ ඇසේ. ගේට්ටුව ඇතුළත පොළවේ තැන තැන වසා දමන ලද අසූචි වලවල් ය, මා සීරුවට නිවස ආසන්නයට ගමන් කළෙමි. දොර විවර විය. නිවස තුළින් ආ ගඳ ක්ෂණිකව අවට පරිසරයේ දියවී ගියේ ය.

"ආ....මේ කරුණාසේනනේ , එන්න වාඩිවෙන්න.. "
ව්‍යාජ මිත්‍රත්වයක් මවා තේමියගේ බිරිඳ මට අසුනක් පෙන්වා අසුන් ගන්නා මෙන් දැන්වී ය.

"මම මේ ලියකියවිලි වගයක් භාර දෙන්න ආවෙ , පැරණි ලියකියවිලි කිහිපයක් මට ලබාගන්නත් ඕන..."

"ඔව්.. මම ඒවා සූදානම් කර තිබෙන්නේ , මම ඒ ටික දෙන්නම්.. "

ඈ කාර්‍යාල කාමරයෙන් නික්මූ සැනින් බල්ලා නැවත එහි පැමිණ ඇඟේ වෙලෙන්නට විය. මා බල්ලන් විෂයෙහි අප්‍රිය ය. අපුල ය.. ක්ෂණයකින් දණහිසට කකුල් තැබූ බල්ලා මගේ සිරුරේ වෙලෙන්නට විය , ක්ෂණයකින් තේමියගේ ආවේගකර සිනහව මතක් විය.

" බැහැපිය වල් පර බල්ලා " මා නැගී සිට කෑ ගසමින් බල්ලා එළවා දැමී ය.

තේමියගේ බිරිඳ පැමිණ බල්ලා කාර්‍යාල කාමරයෙන් ඇතුළු ගෙට දමා දොර වසා දැමී ය. විනාඩි කිහිපයකින් නැවතත් මා ප්‍රකෘතිමත් විය..

"අනේ සොරි , දන්නැද්ද මේ බල්ලො ටික "

මා පිළිතුරු නොදී කතාව වෙනතකට යොමු කළෙමි , පත් වූ අපහසුතාව අපහසුවෙන් යටපත් කරගතිමි.

"තේමිය කතා කළේ නැද්ද ? "

මා ඇසුවේ කුමක් හෝ කතා කළ යුතු හෙයිනි,

"නෑ... එයා දැන් කතා කරනවා අඩුයි. කතා නොකරනම තරම් , රටින් ගිය මුල් කාලෙ ඉඳහිට කතා කළා , අපරාදෙනෙ නේද කරුණාසේන , මෙහෙ කොච්චර සතුටින් , පහසුවෙන් ඉන්න තිබුනද නේද ?..."

ඇගේ කතාවට අවඥා සහගත ලෙස සිනාසීමේ අවශ්‍යතාවයක් මට තිබුණේම නැත. නමුදු එය පාලනය කරගැනීමට මා අසමත් විය . ඊට අනුබල දෙන්නට මෙන් වයෝවෘද්ධ කාන්තාවගේ ඡායාරූපයක් මාදෙසට හැරී ඔච්චම් සිනහවක් පායි .

Nissanka Rajapaksa

unread,
Sep 7, 2024, 9:53:27 PM9/7/24
to INDRAKA group
10
රෝස කැකුළ 

- පවිත්‍රා අභයවර්ධන

කළමනාකාරයා අමුතුම ශෛලියක වතුර වගේ ඉංග්‍රීසිවලින් පරිගණක තිරයේ තියෙන දේවල් පෙන්න පෙන්න මිනිස්සු ගන්න බඩු වලට බිල් දාන හැටි, ආපහු ගෙනත් දෙන බඩු වලට රිෆන්ඩ් කරන හැටි, ඩිස්කවුන්ට් දෙන හැටි කිව්වට ඒවායින් කාලක්වත් මගේ ඔලුවට ගියේ නෑ.

ලංකාවෙන් ඇවිත් තවම දවස් දෙක තුනක් නිසා මම හිටියේ හොදටම නිදිමතේ. මෙහෙ දැන් ගිනි මද්දහන උනත් තවම මගේ ඇඟ නිදාගන්න ලෑස්ති උනේ ලංකාවට රෑ වෙන වෙලාවට. 

අනික දවසක්ම ප්ලේන් එකේ අතපය වකුටු කරගෙන ඇවිත් තාම ඇඟට අමාරුයි. හරි ඇඳක හරි නින්දක් හම්බුණා නම් දැන් මහන්සි ඇරෙන්න කාලෙ. නමුත් තවත් මනුස්සයෙක් එක්ක ඇඳක් බෙදා හදාගෙන, පොඩි කාමර කෑල්ලකට කොටු උනාම ඒවා කරන්න කාලයක් නෑ. එතනම කෑම උයන නිසා දවස පුරාම තුනපහ සුවඳට මගෙ බඩ දැඟලුවා. මේ මට හම්බුණ ගණං අඩුම තැන. කවුරු හරි බිම නිදාගන්න දෙන්න තව ඩොලර් කීයක් හරි අඩු කරනවා කිව්වා නං මං එහෙම උනත් යනවා.

ණය වෙලා කොලේජ් එකට ගෙවාගෙන ආපු මට අඩුම ගානක් වියදම් කරලා වැඩිම ගානක් හම්බ කරන්න විතරයි ඕන උනේ. අනිත් ළමයි වගේ මහන්සි ඇරෙන්න, රට තොට බලන්න කියලා සතියක් දෙකක් වැය නොකර කාමරේ හොයලා දුන්න ස්ටැන්ලි අයියටම කියලා ආව ගමන් මේ රස්සාවට ආවෙත් ඒකයි.

“පණ යනවා නංගි, හැබැයි අනිත් තැන්වලට වඩා ගෙවනවා” ස්ටැන්ලි අයියා කිව්වේ අදිමදියෙන් වගේ.

“අනේ කමක් නෑ අයියෙ. එච්චරයි ඕන”. මම ඊළග දවසෙම වැඩට ආවා.
______________________________________________
එදා බාගෙට නිදි මතේ ඉඳලා පැය දහයක් හිටගෙන හිටියට පස්සේ කකුල් කැඩෙන්න වගේ තියෙද්දි රෑ පාරට බහිද්දි මට එදා දවසෙම අහගෙන හිටපු, දැකපු දේවලින් මතක තිබුණෙ ජෙනී රෝස්ගේ ලස්සනයි එයාගෙ අතේ තිබුණ ටැටූ එකයි විතරයි.

මෙහෙ පය ගහපු දා ඉඳන් මේ ලෝකෙට අයිති නැති තරම් ලස්සන ශරීර, කොණ්ඩ, ඇස්, හමේ පාට තියන ගෑණු මිනිස්සු දැක්කත් ජෙනී රෝස් තරම් ලස්සන කෙල්ලෙක් මං ඒ වෙනකම් චිත්‍රපටියකවත් දැකලා තිබුණේ නෑ.

ඔලිව් පාට හම, වාත්තු කළා වගේ හම, දුඹූරු ඇස්, ඉණට හැළෙන රත්තරන් පාට කොන්ඩෙ මතක් කළේ නිරූපිකාවක්.

“අපි කස්ටමර් කෙනෙක් එක්ක බිලිං වලට එද්දි හැම වෙලේම බිස්නස් එක කරපු කෙනාගේ අත්සන බිලට ගන්න. එහෙමයි අපිට කමිෂන් හම්බවෙන්නේ ඩාර්ලිං”

කළමනාකාරයා මට උපදෙස් දීලා පිටත් වෙලා ටිකකින් මගේ ළඟට ආව ජෙනී එහෙම කිව්වෙ ඇහැක් ගහලා.

“මැනේජර් ඒක කිව්වේ නෑ නේද? අත්සන් නැති බිල් වල කමිෂන් එක කම්පැනිය තියාගන්නවා. ඒකයි කියන්නේ නැත්තේ.”

එයාගේ මූණේ හිනාවක් ඇදුණා.

“මෙන්න මගේ අත්සන, අපි එක එක්කෙනාගෙ නම් ගහපු පෙට්ටි මේ ලොකර් එකේ තියෙනවා, බිල් කළා පස්සේ ඒ පෙට්ටිවලට දාන්න.’'

එයා එතන තිබුණ කඩදාසියක තත්පරෙන් අත්සනක් ගහලා, ලාච්චුව ඇරලා පෙට්ටි ටික පෙන්නුවා.

මම බලං හිටියේ අත්සන දිහා. “ඉංග්‍රීසි ජේ අකුරක නටුව උඩ රෝස මලක්”

“මගේ නම ජෙනී රෝස්, රෝස් ලියන්නේ රෝස මල වගේ.” 

එයා කිව්වේ මම අත්සන දිහා බලනවා දැකලා, මැණික් කටුව ළඟ කොටලා තිබුණ රෝස මලක ටැටූ එකක් පෙන්නලා. අත්සනේ තිබුණෙත් ඒ මලම තමයි.හැබැයි පොඩියට.

“හරිම ලස්සනයි.” මම කිව්වේ ඇත්තටම.

“මගේ එක්ස්, මැට් ආර්ටිස්ට් කෙනෙක්. එයා තමයි ඔය දෙකම ඩිසයින් කළේ. මං බ්‍රේක් එක ගන්නවා. එකට එන්නම්”

ලස්සන කොණ්ඩේ ගස්සලා ජෙනී හැරුණා.
______________________________________
ජෙනීටයි මටයි ගොඩක් වෙලාවට වැඩ වැටුණේ එකට. වැඩ කරන වෙලාවෙදි කතා කරන්න කිසිම වෙලාවක් නොතිබුණත් වැඩ ඉවර වෙලා අපි දෙන්නා ගියේ එකට. 

ජෙනීට පාරේ ඉන්න උනා එයාගෙ පෙම්වතා හෙන්රික් එනකම්. 

මම බැලුවේ පුලුවන් තරම් රෑ වෙලා කාමරේට යන්න. විසි හතර පැයේම ඉන්දියාවෙ ඉන්න පෙම්වතා එක්ක පන්ජාබියෙන් බෙරිහන් දීලා මල් කඩන, උයන තැන අපායක් කරගන්න මන්දීප් එක්ක පුලුවන්තරම් අඩු වෙලාවක් ඒ කාමරේ ඉන්න තමයි මම බැලුවේ. වැඩ ඉවර වෙද්දි දැනෙන කකුල් රිදිල්ල එක්ක ඇවිදින්න කම්මැලි නිසා මම කළේ පාර අයිනේ තියෙන බංකුවක වාඩි වෙලා යන එන මිනිස්සු දිහා බලා ඉන්න එක.

උඩට හොඳට ටයි කෝට් ඇදලා, කොට කලිසමක් ඇදගෙන වැඩට යන තරුණයෝ, ලස්සන ගවුම් අන්දපු බල්ලො වඩාගෙන යන නෝනලා, ඇඟ ගැහෙන සීතලෙත් කමිසයක් නැතුව ව්‍යායාමෙට දුවන අය, තලප්පා බැඳගෙන වාහනවල මහ හයියෙන් හින්දි සින්දු දාගෙන යන පන්ජාබියෝ, ඒ පුදුම මනුස්ස කවලමක්.

ගොඩක් වෙලාවට ජෙනීත් ළඟ තියෙන කඩේකින් කෝපි කෝප්පයක් අරන් ඇවිත් හෙන්රික් එනකම් මා එක්ක හිටියා. මට කෝපි බොන්න කතා කළාම මම කිව්වේ මට කෝපි ඇලජික් කියලා. මෙහෙ මිනිස්සුන්ට ගෙදරින් උදේට කාළා, ටවුමට ඇවිත් කෝපි එකක් අරන් ගිහින් බොන තරමට ඒක පුරුද්දට ගිහින්. මට ඇලජික් උනේ කෝපි නෙවෙයි ඒකට යන ගාන. කෝපි කෝප්පෙකට යන ඩොලර් තුන හතර ලංකාවේ රුපියල්වලට හැරෙව්වම මට කෝපි බොන්න තියා ඒ දිහා බලන්නවත් හිතුණේ නෑ.

කෝපි නොබොන දවසට ජෙනී වැලට සිගරැට් බිව්වා. ලංකාවේදි සිගරැට් බොන කොල්ලංගෙ තමයි තොල් කලු කියලා අපි ඉස්කෝලෙ කාලෙ කතා උන හැටි මතක් කරගෙන මම ජෙනීගෙ රෝස පාට තොල් දිහා බැලුවා.

“හෙන්රික් මගේ සිගරැට් ටික බීලා."

දවසක් බෑග් එකෙන් සිගරැට් පෙට්ටිය අරන් එක සිගරැට් එකක් ගන්න ගමන් ජෙනී කිව්වේ නොරිස්සුමෙන්. 
“එයාට රෑට ගේන්න අමතක උනාම මගේ ටික ඉවර කරනවා. දැන් මට යද්දි අරන් යන්න වෙනවා.”

“ඇයි ඔච්චර සිගරැට් බොන්නේ?”

මම ජෙනීගෙන් ඇහුවේ ඒ වෙද්දි අපි එහෙම දෙයක් අහන්න පුලුවන් තරමට ළඟ යාලුවෝ වෙලා හිටපු නිසා. නැත්නම් කීයටවත් ඒ වගේ අති පුද්ගලික දෙයක් මෙහෙ කෙනෙක්ගෙන් අහන්න බෑ.

“අම්මයි තාත්තයි ඩිවෝස් උනාම මට ඩිප්‍රෙෂන් ආව. ඒ කාලෙ පුරුදු උනේ. දැන් නවත්තගන්න බෑ.” එයා හිනාවෙලා උඩ බලාගත්තේ ඒක ගානක් නෑ වගේ. “මැට් මට සිගරැට් බොන්න දුන්නේ නෑ. ඒ කාලෙ නවත්තලා ඉඳලා ආයෙ පටන් ගත්තා”

එදා හෙන්රික්ට එන්න පරක්කු උන දවසක්. කලුවර වැටිලා වගේ තිබුණ ගොඩනැගිලි වල ලයිට් පත්තු වෙනකම් ජෙනී මට එයාගෙයි මැට්ගෙයි කතාව කිව්වා.

“මම ගෙදරින් ආව කාලෙ අපි දෙන්නටම සල්ලි තිබුණෙ නෑ. මැට් ඒ කාලෙ චිත්‍ර විකුණනවා. මම වැඩ කළා. කොහොම හරි කොලේජ් එකට ගෙවාගෙන කාලා බීලා ඉන්න පුලුවන් උනා. එයාගෙ ස්ටුඩියෝ එක තිබුණේ චැතම් ස්ට්‍රීට් එකේ. මේ ටැටූ එක ගහගත්තේ අපි එකතුවෙලා පළවෙනි ඇනිවසරි එකට. එයාත් මේකම ගහගත්තා එයාගෙ අතේ.” ජෙනී එයාගෙ ටැටූ එකේ තිබුණ රෝස කැකුළ අත ගෑවා.

“එයා හොඳ කෙනෙක්. මට හරි ආදරෙන් හිටියා. මට කිව්වේ එයාගෙ රෝස කැකුළ කියලා.”

“ඉතිං මොකද උනේ.” කවදත් ආදර කතා අහන කැමති මම ඉස්සර උනා. “ඇයි ඔය දෙන්නා අයින් උනේ?”

“රීසෙෂන් (ආර්ථික අවපාතය) එක ඇවිත් මට රස්සාව නැති උනා. මැට්ගෙ චිත්‍රත් විකිණුනේ නෑ. එයාට ස්ටුඩියෝ එක ආපහු දෙන්න උනා කුලිය ගෙවන්න බැරිව. අපිට ගෙවන්න පුලුවන් ගානට තැනක් හම්බුණෙත් නෑ. මම මගේ කොලේජ් එකේ යාලුවෙක්ගේ කාමරේකට ගියා. මැට් යාලුවෙක් එක්ක බේස්මන්ට් එකකට ගියා. මට විතරක් පොඩි රස්සාවක් හම්බුණා. ඔය අතරෙ මට කොලේජ් එකෙන් ගෙවන්න කියලා ආවා. ඒක නැත්නම් ඒ සෙමෙස්ටර් එක කරන්න වෙන්නේ නෑ. එහෙම උනානං මට ආපහු අපේ රටට යන්න වෙනවා. මට යන්න ඕන උනේ නෑ. මං හෙන්රික්ගේ තැන වැඩ කළේ එතකොට. එයා උදව් කරන්න කැමති උනා”

එතනින් එහාට උන දේ මට හිතාගන්න බැරි උනේ නෑ.

“ඔයා හිතනවා ඇති මේකි මහ බැල්ලියෙක් කියලා නේද?”

ජෙනී රෝස් මගේ දිහා බැලුවේ කට කොණින් හිනා වෙවී.

ඇත්තටම මට එහෙම හිතුනේ නෑ. කාගෙවත් සරණක් නැතිව, තමන්ගේ කියලා කෙනෙක් නැතුව අනුන්ගේ රටක අසරණ වෙද්දි මිනිස්සු කරන කියන දේවල්වලට තීන්දු දෙන්න ඒ වෙලාවල එයාලට උදව් කරන්න මං එතන හිටියේ නෑනෙ. තාත්තා ගාවටවත් අම්මයි බාප්පයි ගාවටවත් ආයෙ යන්න පුලුවන් කමක් නැති ජෙනී එතනදි එයාට සුදුසුයි කියලා හිතෙන දේ කරන්න ඇති.

“මැට් මොකද කිව්වේ?”

“මුකුත් නෑ. අපි දෙතුන් පාරක් හම්බ උනා පස්සේ. මං ආවට පස්සේ එයාට මොනවටවත් උවමනාවක් තිබුණේ නෑ. චිත්‍ර අදින්නවත් රස්සාවක් කරන්නවත්. දැන් නම් ගොඩක් කාලෙකින් හම්බුණේ නෑ. කොහෙ හරි ඇති.’'

ජෙනී ආයෙම හිනා උනා. සිගරැට් දුමට මට හරියට එයාගෙ ඇස් දෙක පෙනුණේ නැතත් මට ඕන උනේ ඒ ඇස්වල තෙතමනයක් තියෙනවා කියලා හිතන්න.

“මේ මැට්” ජෙනී දුරකථනය පීරලා පින්තූරයක් අරගෙන මට පෙන්නුවා. ඇස් දෙකෙනුත් හිනාවෙන ලස්සන කොල්ලෙක්. අලි බඩක් තියෙන හෙන්රික් තඩියා වගේ නැති, රෝස මලක් වගේ ඉන්න ජෙනීටම ගැළපෙන කඩවසම් කොල්ලෙක්.

“මේ එයාගෙ චිත්‍ර” ඊළඟ පින්තූරවල තිබුණේ චිත්‍ර. මට කවදාවත් ලස්සනක් පේන්නෙ නැති අගක් මුලක් නැති වැල් වගේ පාට පාට ඒ චිත්‍රවල නම් හොඳ නරක කියන්න මට තේරුණේ නෑ.

“රීසෙෂන් එකෙන් පස්සෙත් එයාගෙ චිත්‍ර විකුණුනේ නෑ. එයාට ආයෙ මාර්කට් එක හදාගන්න අමාරු උනා.”

ජෙනී දැන් පූර්ණ කාලීන රස්සාව කරන නිසා හොඳ පඩියක් ගන්න බව මම දැනගෙන හිටියා. හොඳ අපාර්ට්මන්ට් එකකට ගෙවලා ඉන්න පුලුවන් තරම් ගානක්. නමුත් අපි බලාපොරොත්තු වෙනවා වගේ සත්‍ය ප්‍රේමය කියලා රස්සාවක් නැති කොල්ලා ගෙනත් ගෙදර තියාගෙන කන්න බොන්න තරම් වෙස්සන්තර හිතක් මේ කෙල්ලට ඇති කියලා මට හිතුණේ නෑ. අනික දැන් අවුරුදු ගානක් ගිහින්.

දැන් දෙන්නා පාරවල් දෙකක ගිහින්. ගහකට කොච්චර තදින් එතිලා තියෙන වැලක් උනත් ගලවලා ආයෙ කාලකට පස්සේ ගහේ ඔතන්න ගියාට ඒක හරියන්නේ නෑනෙ. 

ඔන්න ඉස්සර අපි ආසාවෙන් බලපු කතා වල හැටියට නම් මැට් ලෝක ප්‍රසිද්ධ කලාකාරයෙක් වෙලා ජෙනීව ආපහු එයා ළඟට ගනී. නැත්තං ජෙනී ලස්සන ගෙයක් අරගෙන මැට් ව එක්කගෙන එයි. දැන් ඉතින් එහෙම ෆැන්ටසි මේ ලෝකෙ ඇත්තටම වෙන්නේ නෑ කියලා තේරෙන වයසට අපි ඇවිත් නේ.

ටිකකින් හෙන්රික් ඇවිත් ජෙනී ගෙදර ගියා.

මම තවත් පැයක් දෙකක් ඉදලා මැට්ගෙයි ජෙනීගෙයි බිඳිච්ච ආදර අන්දරය නිසා රිදුණ හිත එක්ක ගෙදර ගියා.
____________________________________________

ඔය කතාවෙන් පස්සෙ මට ආයෙ ජෙනී එක්ක කතාවකට ඉඩ ලැබුණේ නෑ. හොඳට වැඩ තියෙන පිට්සා කඩයක රස්සාවක් ගැන ආරංචිය ආවා. නීතියට අනුව වැඩ කරන්න පුලුවන් පැය 20 ට අමතරව වැඩ කරන ගානට අතට සල්ලි දෙනවා. පිට්සා ගන්න මිනිස්සු දෙන ටිප් හම්බ වෙනවා. රෑට වහන වෙලාවට හිටියොත් ගෙදර ගෙනියන්නත් ඉතුරු පිට්සා හම්බ වෙන නිසා ඒක හොඳ ලාභදායී රස්සාවක්.

මම එතනට ආවට පස්සෙම ජෙනී මුණ ගැහුණේ නෑ. ඒත් රෝස මල් පේලියක් එක්ක ජෙනී කියලා තිබුණ වට්ස්ඇප් අංකයෙන් නිතර ඇදුම් සේල් ගැන, තියෙන උත්සව ගැන පණිවිඩ ආවා.

------------------------------------------

ඊළඟ අවුරුද්දේ මමත් ඉගනීමේ වැඩ ඉවර කරලා පූර්ණ කාලීන රස්සාවක් හොයාගත්තා. තවත් ලංකාවේ ගෑණු ළමයෙක් එක්ක ටිකක් හොඳ කාමරයක් කුලියට ගත්තා.  

හදිසියේ දවසක ජෙනී කතා කළේ ඔය අතරේ. ඇමතුමට කළින් පින්තූරයක් වගේ ලස්සන අපාර්ට්මන්ට් එකක පින්තූර ආවා.

“මම හෙන්රික්ගෙන් අයින් උනා. ඩවුන් ටවුන් වල ලස්සන අපාර්ට්මන්ට් එකක් හම්බුණා. කාමර දෙකක. මට තනියම ගන්න ගාන වැඩියි. මොකද කියන්නේ අපි දෙන්නා එකතු වෙලා ගමුද? ඔයා ඩවුන් ටවුන් ඉන්න ආසයි කියලා කියනවා මට මතක් උනා.”

අපි දෙන්නා වැඩ ඇරිලා හෙම්බත් වෙලා එද්දි නුවර මැද තියෙන ලස්සන පාරවල් වල අයිනේ තියෙන තට්ටු ගෙවල් බලලා දවසක මමත් මෙහෙම තැනක ඉන්නවා කියලා හිනා වෙවී කියපු හැටි මට මතක් උනා. ජෙනීට ඒක මතක තියෙයි කියලා මට හිතුනෙ නෑ.

ඒත් ලංකාවේදි ගත්තු ණය ගෙවන්නයි ගෙදරට යවන්නයිත් තියෙන නිසා ඒ ගාන මට දරන්න පුලුවන් උනේ නෑ. මම ඒක කිව්වම ජෙනී තවත් අයට කතා කරලා බලනවා කිව්වා. “මම ගෙදර ගත්තම කියන්නම්. දවසක එන්න”
______________________
ජෙනී කතා කරලා සතියකින් විතර මම රෑ වැඩ ඇරිලා ගෙදර ආවා. එදා වාර්ෂික මල් වෙඩි උත්සවේ නිසා මම සාමාන්‍යයෙන් යන පාර වහලා. මම ඊළඟ පාරට හැරුණා. මම ඒ පාරෙ නිතර යන්නේ නැත්තෙ මෙහෙ පාරවල්වල ඉන්න “හෝම්ලස්” මිනිස්සු නිසා. එයාලා සාමාන්‍යයෙන් කාටවත් කරදරයක් නැතත් මට මොකද්දෝ බයක් තිබුණා "කය මිස සිත නැති" වගේ හිටපු ඒ අය ළඟින් යන්න.

එදා හරිම සීතල දවසක්. දැන් මම හොඳ රස්සාවක් කරන නිසා යන එන ගමන් කෝපි බොන්න පුරුදු වෙලා හිටියා. අනික දැන් ඇවිත් ටිකක් කල් නිසා රුපියල් වලට ඩොලර් හරවන එකත් අඩුවෙලා. ඩොලර් හම්බ කරලා ඩොලර් වියදම් කරන නිසාත්, ගෙදර අයටත් හොඳට කාලා බීලා ඉන්න සෑහෙන ගානක් මාසෙට යවන නිසාත් ඒ වගේ දේකට වියදම් කරද්දි ඉස්සර වගේ වරදකාරී හැඟීමක් ආවේ නෑ.

මම ස්ටාර්බක්ස් එකට ගිහින් කෝපි කෝප්පෙ අරන් එළියට එද්දි එතන දොරකඩ නිදාගෙන හිටපු මනුස්සයා නැගිටලා,

“කෝපි එකක් බොන්න මාරු තියෙනවද?”
අත දික් උනා. 

කවදාවත් හෝම්ලස් අයට සල්ලි නොදී, '‘මෙහෙම රටවල ඉපදිලත් කාලකන්නි වෙන එවුන්” කියලා හිතින් බනින මම “නෑ” කියන්න කට අරිද්දි ඒ අතේ කොටලා තියෙන ටැටූ එක පෙනුණේ. මගේ අත ගැස්සිලා කෝපි කෝප්පෙ රස්නෙ අතට දැනුණා.

ජෙනී රෝස්ගේ අතේ තිබුණ රෝස මල මේ පාරෙ ඉන්න මනුස්සයාගේ අතේ ඒ විදිහටම තිබුණා. අර හිනා වෙන ඇස් දෙකයි රත්තරන් පාට කොණ්ඩෙයි නැතිව ඇවිදින මළකඳක් වගේ මනුස්සයෙක් ඒ අතට පිටිපස්සේ හිටියා. ඒත් ඒ මම ජෙනීගේ දුරකථනයේ දැක්ක මැට් බව හිතාගන්න මට අමාරු උනේ නෑ.

“ලස්සන ටැටූ එකක්” පසුම්බියෙන් මාරු කාසි හොයලා ඩොලර් හතරක් හදලා දෙන ගමන් මම කිව්වා.

“ස්තුතියි. මම ආදරේ කරන කෙනා මතක් වෙන්න ගහපු එකක්”

“මම ඒකෙ ෆොටෝ එකක් ගන්නද?”

මම දුරකථනයෙන් පින්තූරයක් ගත්තා. ජෙනී අලුතින් ගත්තු ගෙදර මේ ළග බව මම දැනගෙන හිටියා. මැට් හෙට වෙනකොට කොහේ ඉදීද දන්නෑ. මේක ජෙනීට කියනවද නැද්ද කියලා මට කල්පනා උනා.

------------------------------------------------------------------
මට මතක් උනේ කළනා. 

ඒ මගේ ඉස්කොලෙ යාලුවෙක්. කුල මල ප්‍රශ්නයක් නිසා කලනාගේ පෙම්වතාට ගෙදරින් කැමති උනේ නෑ. විභාගෙන් පස්සේ එයා ගෙදරටම හිර උනා. මම බොරුවට කලනාගෙන් සද්දයක් නැත්තෙ මොකද කියලා බලන්න කියලා ගෙදර ගියේ විමන්ත අයියගෙ පණිවිඩයක් අරගෙන.

 එක්කගෙන යන්න එන්න වෙලාවක් අහගෙන එන්න කියලා. අම්මා එහාට වෙනකම් ඉඳලා කළනා මට දවසක් වෙලාවක් කිව්වා. විමන්ත අයියට හොඳ රස්සාවක් තිබුණ නිසාත්, ඒ ගෙදරින් අකමැත්තක් නැති නිසාත් කලනා පැනලා ගියාට දුක් විඳින්න වෙන්නේ නැති බව දැනගෙන හිටිය නිසා කරන්නේ හොඳක් බවයි මට හිතුනේ.

ගෙදර ගිය ගමන් විමන්ත අයියට පණිවිඩේ කියන්න හිතන් එතනින් එළියට බහිද්දි කලනාලගෙ අම්මා ගේට්ටුව ළඟ හිටියා.

“මම දන්නවා දුව අද ආවෙ මොකටද කියලා. හැබැයි කලනා ගියොත් මම ඔයාලගෙ ගේට්ටුව ළඟට ඇවිත් වහ බොනවා. මං අන්කලුත් නැතුව දුක් විඳලා ළමයි හැදුවෙ කොහෙවත් යන හකුරන්ට දෙන්න නෙවෙයි”

මං විමන්ත අයියට පණිවිඩේ කිව්වේ නෑ. මොකද උනේ කියලා කලනාට කියන්න උනෙත් නෑ. කලනා ටික කාලෙකින් යෝජනාවකින් බැන්දා. පන්සලේදි, යාලුවන්ගේ මඟුල් වලදී පොඩි පැටව් දෙන්නෙක් උස්සගෙන ආව කලනාගේ හිනාවක් ගෑවිච්ච නැති ඇස් “ඇයි උඹ පණිවිඩේ කිව්වේ නැත්තෙ?” කියලා අහනවා වගේ මට දැනුණා. අපි දෙන්නා ඒ ගැන කවදාවත් කතා නොකළත් මගේ හිතේ ඒ පසුතැවිල්ල ලොකුවටම තිබුණා.

මට තවත් ඒ වගේ පසුතැවිල්ලක් ඉතුරු කරගන්න ඕන උනේ නෑ. හෙන්රික් නැති නිසා ජෙනීට තනියම තීරණයක් ගන්න බැරි කමක් නැති බවත් මම දැනගෙන හිටියා.

මම කාමරේට ඇවිත් අර පින්තූරේ ජෙනීට යැව්ව මේ වචන ටිකත් එක්ක “ස්ටාර් බක්ස්, නෙල්සන් පාර”

එවලෙ ම පණිවිඩේ ලැබුණූ බවට ලකුණු උනත් ජෙනීගෙන් උත්තරයක් ආවෙ නෑ. මට එදා රෑ නින්ද ගියේ නෑ. දුරකථනයේ එළිය පත්තු වෙන සැරයක් ගානේ ජෙනීගේ උත්තරයක් ඇතිද, දෙන්නගෙ පින්තූරයක් දායිද කියලා මම බලන් හිටියා.
___________________________________

මට නින්ද යන්න ඇත්තේ පාන්දර. නැගිට්ට ගමන් බලද්දි හාදු ගොඩක් හදවත් ගොඩක් එක්ක ජෙනීගෙන් උත්තරයක් ඇවිත් තිබුණා.

“මට කිව්වට ස්තුතියි. වැඩට යද්දි අනිත් පාරෙන් යන්නම්”



Nissanka Rajapaksa

unread,
Sep 8, 2024, 8:59:48 PM9/8/24
to INDRAKA group
11
හඳ එළිය

ප්‍රංශ ලේඛක ගී ද මෝපසාංගේ Moonlight කෙටි කතාවේ පරිවර්තනයකි. 

පරිවර්තනය – සාලිය ගුණවර්ධන

ස්විට්සර්ලන්තයේ සංචාරයක යෙදී ආපසු පැමිණ සිටින තම වැඩිමහලු සොහොයුරිය හෙන්රියට් ලෙටෝර් ආර්යාව තමා හමුවීමට එන තුරු ජුලී රෝබියර් ආර්යාව මඟ බලමින් සිටියාය. ලෙටෝර් පවුලේ අය පිටත්ව ගොස් සති පහකට ආසන්න කාලයක් ගෙවී ගොස් ය. කිසියම් අත්‍යවශ්‍ය ව්‍යාපාරික කටයුත්තක් සඳහා තම සැමියා කැල්වඩෝස්හි ඔවුන්ගේ වත්තට පිටත්ව යද්දී හෙන්රියට් ආර්යාව පැරිසියෙහි වෙසෙන තම බාල සොහොයුරිය සමඟ දින කිහිපයක් ගත කිරීම සඳහා එන බව දන්වා ඇත.

නිහැඬියාවේ ගැලුණු සාලය සැඳෑ අඳුරේ සෙවණැලිවලින් අඳුරු වී තිබිණ. රෝබියර් ආර්යාව උදාසීන ඉරියව්වකින් පොතක් කියවමින් සිටි අතර කිසියම් ශබ්දයක් ඇසෙන වාරයක් පාසා දෙනෙත් ඉහළ නඟා බැලුවාය.

අවසානයේ දොර සීනුව නාද වූ අතර ඒ සමඟම චාරිකා උඩු කබායකින් ආවරණය වු සොහොයුරිය ඇය ඉදිරියෙහි පෙනී සිටියා ය. වහාම යම් විධිමත් පිළිගැනීමකින් තොරව එකිනෙකා වැලඳ ගනිමින් සිට මොහොතකට ඉන් වැළකුණ ඔවුහු යළි සිප වැලඳ ගැනීම් ඇරඹූහ. ඉන් පසු ඔවුන් එකිනෙකාගෙන් සුව දුක් පිළිබඳවත් පවුල්වල තොරතුරු හා තවත් දහසක් කරුණු පිළිබඳවත් ප්‍රශ්න නඟමින් ඕපාදූප දොඩමින් කඩිසර ලෙස සිරුරු චලනය කරමින් බිඳුණු වැකිවලින් කතාබහ කළ අතර හෙන්රියට් කලබලයෙන් තම හිස්වැසුම සහ මුහුණු ආවරණය ඉවත් කිරීමේ යෙදුණාය.

මේ වන විට අඳුර දැඩි විය. රෝබියර් ආර්යාව ලාම්පුවක් ගෙන්වා ගැනීමට සීනුව හැඬැ වූ අතර එය ගෙන ආ විගස ඇය නැවතත් වැලඳ ගැනීමේ අදහසින් තම සොහොයුරියගේ මුහුණ දෙස විමසිල්ලෙන් බැලුවාය. එහෙත් සොහොයුරියගේ පෙනුමෙන් බියට හා විමතියට පත් වූ ඇය මඳක් පසුබෑවාය. ලෙටෝර් ආර්යාවගේ නළල දෙපස දිගු කෙස් රොදවල් කිහිපයක් සුදු පැහැයට හැරී තිබිණ. සෙසු මුළු කේශ කලාපයම ඔප් නැඟුණු කාල වර්ණයෙන් වර්ණවත් වුව ද ඇගේ හිස දෙපස හුදෙකලා කෙස් රොද රිදී දිය දහරා දෙකක් සේ පහළට යොමු වී ගොස් සෙසු කෙස් අතර සැඟවී ගියේය. එසේ වුව ද ඇගේ වයස අවුරුදු විසි හතරක් පමණක් වූ අතර මෙම හදිසි විපර්යාසය සිදුවී ඇත්තේ ඇය ස්විට්සර්ලන්තයට ගිය පසුවය.

රෝබියර් ආර්යාව නොසෙල්වී තම විමතියෙහිම ගැලී කුහුලින් බලා සිටියදී ඇගේ දෙනෙත්වල කඳුළු පිරී ගියේය. තම සොහොයුරිය කිසියම් සැඟවුණු, භයානක ව්‍යසනයකට ගොදුරු වී ඇතැයි ඇය අනුමාන කළාය.

“ඔයාට මොකද වුණේ හෙන්රියට් ?” යි ඇය විමසුවාය.

දිරි සිඳී ගිය අයෙකුගේ ශෝකී මඳහසින් යුතුව වැඩිමහලු සොහොයුරිය පිළිතුරු දුන්නාය.

“ඇයි ? මොකුත් නැහැ මම සහතික වෙනවා. ඔයා මගේ සුදු වෙච්ච කෙස් රොදවල් දිහා ඕනෑකමින් බලා හිටියා නේද?”

එහෙත් රෝබියර් ආර්යාව ක්ෂණිකව ඇගේ උරහිසින් අල්වා ගනිමින් ඇය දෙස තියුණු බැල්මක් හෙළා යළිත් සිය පැනය ප්‍රතිරාව කළාය.

“ඔයාට මොකද වුණේ ? මට කියන්න, ඔයාට මොනවා හරි කරදරයක් වුණා ද?” ඔයා මට බොරු කරන්න හැදුවොත් මම ඒක හොයා ගන්නවා කොහොම හරි.”

ඔවුන් මුහුණට මුහුණලා සිටි අතර සුදුමැලි වූ හෙන්රියට් ආර්යාවගේ තඩිස්සි වු දෑස කෙළවර මුතු ඇට වැනි කඳුළු බිංදු දෙකක් රැඳිණ.

ඇගේ සොහොයුරිය දිගින් දිගටම ප්‍රශ්න කළා ය.

“මොකද වුණේ ඔයාට. ඔයාට කරදරයක් වුණා ද? උත්තර දෙන්න මට.”

එවිට වැඩිමහලු සොහොයුරිය මැඬ ගත් කට හඬකින් මිමිණුවාය.

“ම.. මට.. මට ආදරවන්තයෙක්.. ඉන්නවා.”

ඒ සමඟම තම නළල බාල සොහොයුරියගේ උරහිස මත සඟවා ගත් ඇය ඉකි බිඳින්නට වූවාය.

සුසුමකින් ළය සැහැල්ලු වී යද්දී මඳක් සන්සුන් වූ ඇය තම සිතෙහි සඟවාගෙන සිටි රහස හෙළි කරන්නට වූයේ තම සන්තාපය සානුකම්පිත හදවතකට දනවා තම හදවත බර සැහැල්ලු කර ගන්නට මෙනි.

ඒ සමඟම එකිනෙකා දැඩිව ග්‍රහණය කර ගනිමින් කාමරයේ අඳුරු මුල්ලක වූ සෝපාවක් වෙත දෙදෙනාම ගිය අතර බාල සොහොයුරිය තම අතක් වැඩිමහලු සොහොයුරියගේ ගෙල වටා යවා ඇය තම ළැමට සමීප කර ගනිමින් අසා සිටියා ය.

“ඔව්, මම දන්නවා කෙනෙකුට සමාවක් නැහැ; ඒ වගේ දෙයක් ගැන. මට බැහැ තවම තේරුම් ගන්න. ඒ දවසේ ඉඳලා මට පිස්සු වගේ. පරිස්සම් වෙයන් මගෙ කෙල්ලේ. ඔයා ගැනම පරිස්සම් වෙයන්. ගැහැනු අපි කොයි තරම් දුර්වලද කියලා ඔයා දන්නවා නම්… කොයි තරම් දුර්වල වෙනවද හිත මෙළෙක් වුණ මොහොතක? අපේ ආත්මයට ශෝකී බවක් රිංගා ගත්ත මොහොතක පෙම්බරයෙක් වැලඳ ගන්න ඇතිවෙන ආශාව! අපි කාට වුණත් යම් අවස්ථාවලදී එහෙම වෙනවා.”

“ඔයා දන්නවානේ මගේ මහත්තයා ගැන? ඒ එක්කම ඔයා දන්නවානේ මම එයාට මොන තරම් ආදරේ ද කියලත්? ඒත් එයා මෝරලා, එයා පරිණතයි, බුද්ධිමත්, එයාට දැනෙන්නේ නැහැ ගැහැනියකගේ හදවතේ ගැස්ම. එයා හැම විටම එකම විදිහයි. නිතරම යහපත්. නිතරම සිනාමුසුයි. කරුණාවන්තයි. පරිපූර්ණයි. අනේ! සමහර වේලාවක මට හිතෙනවා එයා ගොරහැඩි විදිහට තමන්ගේ අත් දෙකට මාව හිර කරගෙන ඉන්නවා නම්! හෙමින් වැලඳ ගෙන එකට බැඳිලා ඉන්න ඇත්නම්! නිශ්ශබ්ද විශ්වාසවන්ත බැඳීමකින්. එයා තමා ගැනම අමතක කරලා දුර්වල වෙලා ඉන්නවා නම්! එහෙනම් එයාට මාව ඕනෑ වෙයි. මාගේ ආදර පිරිමැදීම් මගේ කඳුළු එයාට ඕනෑ වෙයි. මම එහෙම හිතපු තරම්!”

“මේ ඔක්කොම හරිම මෝඩ දේවල් විදිහට පෙනේවි. ඒත් අපි, ගැහැනු මැවිලා තියෙන්නෙම එහෙම තමයි. ඉතින් ඒකට අපි මොකද කරන්නේ ?”

“ඒත් මට මාවම රවටා ගන්න හිතක් ඒ මොහොත වෙනතුරුත් ඇති වෙලා නැහැ. අද ඒක සිද්ධ වෙලා. ආදරයක් නැතිව, හේතුවක් නැතිව කිසි දෙයක් නැතිව සරලව කියනවා නම් ලුසර් ගඟේ ජලය මත වැටුණු හඳ එළිය නිසාම.”

“මගේ මහත්තයයි. මායි එකතු වෙලා සංචාරෙක යෙදුණු මාසේ ඇතුළත එයාගේ උදාසීනකම මගේ උනන්දුව අඩපණ කළා. මගේ කාව්‍යමය ළැදියාවන් දියකර හැරියා. හිරු පායා එද්දී අපි කඳුකර පාරවල පල්ලම් බැහැගෙන යද්දී. අශ්වයන් හතරදෙනා පිම්මේ යද්දී අපි දැක්කා උදෑසන මීදුම් පටල විනිවිද පෙනෙන මිටියාවත්, වනාන්තර, දිය කඳුරු, ගම්මාන මම උතුරා යන සතුටකින් අත් පටලාගෙන එයාට කීවා මොන තරම් ලස්සන දර්ශනයක් ද “ඉතින් අනේ මාව සිපගන්නකෝ රත්තරන්’ කියලා.”

“උදාසීන, ඒත් ක්ෂණික හඬකින් කතා කරන අතර එයා හිනා වුණා. ‘ඔයා මේ භූමි දර්ශනයට කැමති වෙන එක අපි එකිනෙකා සිප වැලඳ ගන්න තරම් දෙයක් නොවෙයි’ කීවා. එච්චරයි”

“එයාගේ ඒ වචන මාව මගේම හදවතට හිර කරලා ගල් කරලා දැම්මා. මිනිස්සු එකිනෙකා ආදරය කරද්දී ඒ අය තමා ඉදිරියේ දකින සුන්දර දර්ශනවලට කවදාටත් වඩා සමීප වෙන්න ඕනෑ කියලයි මට දැනෙන්නේ.”

“ඇත්තෙන්ම එයා මගේ ඇතුළාන්තයේ බුබුළු දමන කවීත්වයේ ගලා යාම වැළැක්වුවා. මම ඒක කොහොම කියන්නද? සම්පූර්ණයෙන්ම හුමාලයෙන් පිරිච්ච උණු වතුර භාජනයක් සුළං නොවදින්න තද කරලා වැහුවා වාගේ වුණා මගේ ඇතුළාන්තය.”

“එක දවසක් හැන්දෑවේ (අපි දවස් තුන හතරක් ‘හොටෙල් ඩී ෆ්ලුලෙන්’ හෝටලයේ නතර වෙලා හිටියා) රොබට් හිසරදයක් හැදිලා රෑ කෑම ගන්න ගමන්ම නැගිටලා ඇඳට ගියා. මම තනිවම විල් ඉවුර දිගේ ඇවිදින්න ගියා. ඒක කවුරු හරි කියාපු සුරංගනා කතාවක වගේ රාත්‍රියක්, පුරා හඳ අහසේ මුදුනටම ඇවිත්. උස් කඳු හිමෙන් වැහිච්ච තමන්ගේ සිකර රිදී ඔටුනු පැලඳ ගත්තා වාගේ. හෙළවෙන පුංචි රළවලින් පොකුණ බැබළුණා. අවට වාතය හරිම ශාන්තයි. පෙරිලා එන නැවුම් ගතියෙන් සිහි මුළා කරන තරම් මෘදු ගතියක් දැනුණා. පැහැදිලි හේතුවක් දැක ගන්න බැරි ගැඹුරු බලපෑමක් ඇති කළා. මොන තරම් සංවේදී ද, මොන තරම් කම්පනීය ද ඒ මොහොතේ හදවත? හදවත මොන තරම් ඉක්මනින් උඩ පනිනවාද? චිත්තවේග මොන තරම් තියුණුද?

"මම තණ පිටියේ ඉඳගෙන විශාල පොකුණ දිහා බලාගෙන හිටියා. ඒ තරම් දුක්මුසු සරාගික ගතියක් මිශ්‍ර වුණු අමුතු හැඟීමක් මා තුළට ගලා ආවා. ආදරේ ගැන අතෘප්තිකර අවශ්‍යතාවකින් මාව ඩැහැගෙන; මගේ ජීවිතයේ මලානික අන්ධකාරයට විරුද්ධ විප්ලවයක්. මේ වගේ විල් ඉවුරක, මේ වාගේ බබළන හඳ එළියක පිරිමියෙකුගේ අත් දෙකකට මැදිවෙලා ඉන්ට මගේ දෛවය මට කවදාවත් ඉඩක් දෙන්නේ නැද්ද? කවදාවත් ම? එහෙම නම් මට මගේ තොල් ගැඹුරු මිහිරිතම මෝහනීය හාදුවලින් තෙරපෙන හැටි විඳ ගන්න, ප්‍රේමවන්තයන්ගේ සරාගී වැලඳ ගැනීම්වලටම දෙවියන් වහන්සේ මවා දීපු මේ වාගේ අවස්ථා මට අහිමිද? මට කවදාවත්ම ඒ වාගේ අවස්ථාවක්, උන්මාදනීය ආදරයක්, හඳ එළියෙන් සෙවණැලි හැදූ ගිම්හාන රාත්‍රියක් නොලැබේවිද?.

“මම අඬා වැටුණා, හරියට අසාධාරණයට ලක් වෙච්ච ගැහැනියක් වාගේ. මට මගේ පිටුපසින් යම් සසල වීමක් දැනුණා. මම හැරී බැලුවා. මිනිහෙක් මා දිහා එක එල්ලේ බලාගෙන හිටියා. මම හිස හරවා බලද්දී එයා මාව අඳුනා ගත්තා. එයා කතා කළා."

“ඔයා අඬනවා නේද මැඩම්?”

“එයා තරුණ බැරිස්ටර්වරයෙක්. එයාගේ අම්මත් එක්ක සංචාරයේ යෙදෙනවා. අපව මුණ ගැහිලා තියෙනවා. හුඟාක් වෙලාවලදී. එයාගේ ඇස් වරින්වර මා දිහාවට හැරෙන හැටි මම දැකලා තියෙනවා.”

“ඉතින්, මම මොන විදිහේ උත්තරයක් දෙන්නද එයාට? මගේ හිත අන්ද මන්ද වුණා. මම කීවා මට ටිකක් අසනීපයි කියලා”.

“එයා මා ළඟින් ස්වාභාවික විනීත ආකාරයකින් ඇවිද ගියා. ඒ අතරේ චාරිකාවේදී දැකපු දේවල් ගැන කතා කරන්න පටන් ගත්තා.”

"මගේ හිතට ආපු හැම දෙයක්ම එයා වචනවලට පරිවර්තනය කළා. මම ඉතාම සතුටට ප්‍රහර්ෂයට පත් කරවූ හැම දෙයක්ම එයා සම්පූර්ණයෙන්ම තේරුම් ගත්තා. මටත් වැඩියෙන් එක පාරටම එයා ඇල්ෆ්‍රඩ් මුසේ කවි කීපයක් ගායනා කළා. මට මගේ හුස්ම හිරවුණා වගේ දැනුණා. වචනයෙන් විස්තර කරන්න බැරි ආවේගයකින් මාව ග්‍රහණය වුණා වගේ දැනුණා. කඳු වැටි, විල, හඳ එළිය මට කියා ගන්න බැරි දේ ගායනා කරමින් හිටියා වගේ දැනුණා.”

“ඒක එහෙම වුණා. මම දන්නේ නැහැ. කොහොමද ඇයි එහෙම වුණේ කියලා. ඒක මායාවක් වගේ.”

“අපි පිටත් වෙලා යන කල්ම ආයෙත් මුණ ගැහුණේ නැහැ. එයා මට ලිපින කාඩ්පතක් දුන්නා." තම සහෝදරියගේ අත් දෙකට මැදිවෙත්ම ලෙටෝර් ආර්යාව කෑ ගසන තරමේ කෙඳිරියක් නැඟුවා ය.

ඉන් පසු රෝබියර් ආර්යාව ආත්ම සංයමයකින් හා බැරෑරුම් ස්වභාවයකින් යුතුව ඉතාම මෘදු ලෙස මෙසේ කීවාය.

“මේ අහන්න අක්කේ, අපි ආදරේ කරන්නේ අවස්ථාවටයි. පුද්ගලයෙකුට නොවෙයි. ආදරේටමයි. එහෙම නම් ඔයාගේ නියම ආදරවන්තයා වුණේ වෙන කවුරුවත් නොවෙයි. හඳ පායපු ඒ රාත්‍රියයි. හඳ එළියයි”.




Nissanka Rajapaksa

unread,
Sep 9, 2024, 8:12:45 PM9/9/24
to INDRAKA group
12
විනාඩි විස්සක්

- සඳිනි තෙන්නකෝන් 


එය ගිම්හානයේ අතිශය උෂ්ණාධික දවසකි. උෂ්ණත්වය සෙල්සියස් අංශක 34 ද ඉක්මවා තිබූ හෙයින් මට අවශ්‍ය වූයේ හැකි ඉක්මනින් නාන බේසමේ බැස වයින් වීදුරුවක් විදිමින් සිහිල් වීමට ය.

මම නො ඉවසිල්ලෙන් උදුනේ කාල මාපකය දෙස බැලීමි. ගතවී තිබුණේ මිනිත්තු කිහිපයක් පමණි. ඉඟුරු සහ ලෙමන් විස්කෝතු උදුනෙන් බෑම සඳහා තවත් විනාඩි විස්සකට ආසන්න කාලයක් ඉතිරි වී තිබුණි.

ඒ පිළිබඳව කොහොමත් ම විස්වාසයක් තිබුණේ නැත. ඬේන් උදුණේ මාපකය සෙල්ලම් ඇන්ජිමක කොටසක් යැයි සෙල්ලමට ගෙන අබිලි කර පැය විසි හතරක්වත් ගතවී තිබුණේ නැත. සැමියා විසින් එය යථා තත්වයට පත් කළත් එය මගේ ප‍්‍රකෝපයෙන් පුතු මුවා කිරීම උදෙසා කළ යන්තම් ඇටවීමක් පමණක් ම බවට මා තුළ වූයේ ප‍්‍රබල සැකයකි.

වේලාව ගෙවෙන තෙක් මම මේසය පිසදමන්නට වූයෙමි. මේසය මත වැටී තිබූ කෝන්ෆ්ලේක්ස් කැබලි සහ සීනි කැට පිළිවෙළකට ඉවත් විය. මයිකල් , ඬේන් සහ මම සිනාසී සිටින ඡුායාරූපයක ගෑවුණු සෝස් පැල්ලම්. සමාන්තර විශ්ව, පිටසක්වලයන් ආදී පිළිගත නොහැකි දේ පිරුණු මයිකල් මහත් අභිරුචියෙන් කියවන ඉපැරණි විද්‍යා ප‍්‍රබන්ධ සඟරාවක්. ඉන්පසු විසිතුරු කෝප්ප සහ සෙරමික් පිසදැමෙන වෙලාව. මේ මළ ඉලව් තෑගි වශයෙන් වරින්වර මට ගෙනවිත් දුන්නේ සැමියා විසිනි. කරදරේ.. දැන් ඒවායේ දූවිලි රැස්වෙත්දී පිහින්නට ඕනෑත් මමමයි.!

මම යළිත් උදුනේ කාල මාපකය දෙස බැලීමි. විනාඩි විස්සයි.මෙතරම් වැඩ ප‍්‍රමාණයකයට පසුවත්. මේ උලව් කාල මාපකය කැඞී ඇත. එය යථා තත්වයට පත් කලැයි තාත්තා සහ පුතා මට කර ඇත්තේ මහ බොරුවකි.
ඕන කෙහෙල්මලක් වෙච්චාවේ.. මම නාන බේසම වෙත යායුතුය. උදුන කොහොමටත් නියමිත වේලාවෙන් පසුව ස්වයංකී‍්‍රයව අක‍්‍රීය වේ. බිස්කට් අනවශ්‍ය තරමේ දුඹුරුවක් ගන්නේ ඊට පසුවය. තාත්තා සහ පුතාට කරවුණු බිස්කට්. හොඳ වැඬේ.. අම්මාට බොරු කිව්වාට..

මුළුතැන්ගෙයින් පිටව යමින් මම රාක්කය මත වූ වයින් බෝතලය සහ කස්කුරුප්පුව අතට ගත්තෙමි.

එක්වරම දොරේ සීනුව නාද විය. ශාප කරන අපහාසාත්මක අකුරු හතරක් මුමුණාගනිමින් මා දොර විවර කළේ පැමිණියේ කවුරුන් වුවත් නිවස තුළට පැමිනෙන්නෙක් නොවේවායි පතමිනි.

පුදුමයකි. විවර වූ දොර පිටුපස කිසිවෙකු වූයේ නැත. දොර සීනුව නාද වූ බව මට සහතික කළ හැකිව තිබුණි. මට විහිළුවක් කිරීමේ අරමුණින් දොර සීනුව නාද කර සැඟවීමට ඬේන්වත් නිවසේ සිටියේ නැත.
දොර සීනුව නාද කළ තැනැත්තා කවුරුන් වූවත් ඔහුට හෝ ඇයට තබා බළළෙකුටවත් සැඟවිය හැකි තැනක් අසලක තිබුණේත් නැත.

මම වේගයෙන් දොර වසා දැමීමි.

ඉනික්බිති සිහින් හඩක් නැගුණේ මුළුතැන්ගෙය දෙසිනි. අතෙහි වූ බෝතලය සහ වීදුරුව සාලයේ මේසය මත තබා මම මුළුතැන්ගෙයට එබුණෙමි.

දෙයියන්ට ඔප්පුවෙච්චාවේ ගෑණියෙක්.! අමුම අමු නිර්වස්තරෙන්!!. මට කෑ ගැහුණේ නිරායාසයෙනි.

‘‘ඔහේ.. කවුද ඔහේ..? මොන උලව්වක් ද මගේ කුස්සියෙ කරන්නේ?’’

මට පිටුපා උදුන අසල සිටි බැවින් මෙතෙක් මට මුහුණ නොපෙනූ ගැහැනිය මා දෙසට හැරුණි.

දෙයියන්ට ඔප්පු වෙච්චාවේ.!.මේ මමමයි. අඩක් හිස් වයින් වීදුරුවකුත් අතැතිව. ඒ මදිවාට හෙලූවැල්ලෙන්.!!

මගේ හදවත කටට ආවාක් බඳු හැඟීමක් මට ඇතිවූ අතර, කටට ආ හදවත ඉන් ඉවතටද පනිතයි බියෙන් මෙන් මගේ අතක් මගේ මුව වසාගත්තේය.

ගැහැණිය..නෑ.. මම .. නෑ නෑ.. මම වගේ මොකක්දෝ දෙය සිනාසුණාය..

‘‘විනාඩි විස්ස ඉවරයි… ඕ ගෝඞ් ඩාලිං.!. ඔච්චර පුදුමෙන් මා දිහා බලන්න එපා..’’

යම් අපරාධකාරී කුමන්ත‍්‍රණ ප‍්‍රයෝගයක් ඇතැයි මට එක්වරම සිතුණි. මේ මොකක් හො දෙය මේ සිදුවූ දෙය පිළිබඳව මා වාගේම පුදුමයෙන් නම් මේ සැකය අඩු වෙන්නටවත් තිබුණා. එහෙත් මේ ගැහැණියට වගේ වගක් නැතිවීම ම මදෑ.. පසුගිය දිනවල අසන්නට වූ කොල්ලකල්ලි පිලිබඳ අප්‍රසන්න කතාන්දර මගේ මතකයට ආවේය. දවාලට තනියෙන්ම ඉන්න ගැහැණුන්ගේ බෙලි කරකවන බියකරු කල්ලි.

මම ඉදිරියට පැන සයිඞ්බෝඩය මත වූ පිහිය අතට ගතිමි.
ගැහැණිය කලබල වූවාය.
‘‘ ඕ.. පැත්තකට දාන්න පිහිය..මට පුළුවන් පැහැදිළි කරන්න.. ප්ලීස්..’’
එහෙත් මම පිහිය උරුක් කළෙමි.
‘‘ අත් උස්සනවා.!. දැන් හෙමින් වාඩිවෙනවා..’’
ගැහැණිය මේසයේ අනෙක් කෙළවරේ වූ පුටුවක අගිස්සෙන් වාඩිවූවාය.
‘‘දැන් කියනවා කවුද ඔහේ?’’
‘‘ මම ඔයා.. මේරියන්’’
‘‘මොකක්?? මම මෙතන ඉන්නවා ඔහේ ඉස්සරහපිට හොඳ සිහියෙන්.. මම බීලත් නෑ.. බොන්න හිතූ පමණින් වෙරි වෙන්නෙත් නෑ..ඇත්තත කියනවා.. කවුද තමුසේ? හහ්.. වඩා හොඳදේ පොලිසියට කියන එක වෙන්ඩ ඕන’’
‘‘ මම ඔයා මේරියන්.. විනාඩි විස්සක් ඔයාට වඩා කළින්..’’
‘‘මොකක්??’’

ගැහැණිය හිසේ අත තබාගත්තාය. ඒ පැහැදිළි කිරීමට අපහසු කරුණක් අරභයා මා දක්වන ඉරියව්වම දක්වමිනි.

‘‘අද උදේ වෙනද වෙලාවටම ඔයා නැගිට්ටා.. ඉන්පස්සේ පුරුදු විදිහට මිස්ටර් රස්කින්ව එළියට දැම්මා.. එයා අළුත්ම බුමුතුරුණු සූරලා තිබුණු නිසා ඔයා හිටියේ තරහින්.. ඉන් පස්සේ ඬේන්..එයා පහළට ආවට පස්සෙ..’’

‘‘ නවත්තනවා.. ’’ මම කෝපයෙන් පැවසීමි. ‘‘ඔහේ දවස පුරාම මගෙ ගැන ඔත්තු බැලූවා. ඊට පස්සේ මම වගේ වෙස්වලාගෙන ආවා.. ඔහේට පුළුවන් වෙච්චි දේ්වල් වාර්තා කරන්න.. ඒත් ඔහේට බෑ මම ඊළඟට කරන්න හිටපු දේ කියන්න.. මොකද තමුසේ මම නොවන නිසා…’’ මම ගැහැණිය දෙස ජයග‍්‍රාහීව බැලීමි.
ඇය සිනාසුනා ය.
‘‘ ඕ.. ඔයා ලෑස්තිවෙලා හිටියේ විනාඩි විස්සකින් නාන බේසමට බහින්න..හරියටම මේ මම කළා වගේ.. ’’
‘‘මොකක්?’’
‘‘ ඉස්සෙල්ලා ඔයා මාව විස්වාස කරන්නම වෙනවා මේරියන්..’’ ඇය කීවාය. ‘‘ ඒක ලේසියෙන් සිදු නොවන බවත් මම දන්නවා.. මොකද මම ඔයා නිසා..ඇත්තම කතාව මම ඔබට කියන්නම්..ඒ වගේම මම මෙච්චර වෙලා කිව්ව හැම දෙයක්මත් ඇත්ත..’’

‘‘ ඒක එහෙම වෙන්ඩම ඕනෑ..’’ මම කීවෙමි. ‘‘ මොකද මට බොරු කීම පේන්න බෑ.. ඔහේ මම නම් ඔහේටත් ඒක එහෙම්ම වෙන්න ඕනෑ..’’
ගැහැණිය සිනාසුනාය.
‘ සත්තකින්ම..මේ අහන්න මේරියන්.. හැමදේම පැහැදිළි කරන්න ලේසි නෑ …ඒත් බැරිවෙන එකක් නෑ.. අපේ ලෝක දෙක එකිනෙකක ඡායා පිටපත් වගේ සමානයි..මේ උදුන පවා..’’

(මම පිහිය මේසය මත තැබුවෙමි. ඒත් හදිසියකට ගතහැකි දුරකින්..)

ඇය උදුන දෙසට අත දිගුකළා ය.

‘‘ මේක කාල යන්ත‍්‍රයක් මේරියන්.. ඒකත් මේ වගේම මේ ගෙදර ගනිත්දි ම තිබුණු දෙයක්..

අත්වැරදීමකින් හරි මොකක් හරි දේකින් කි‍්‍රයාත්මක වෙනකම් ඒක සාමාන්‍ය උදුනක් විතරයි… අපි, ඒ කියන්නේ මම මයිකල් සහ ඬේන්..ඔබ මේ සිටින පවුල වගේම පවුලක්..’’
‘‘ ඒ කියන්නේ සමාන්තර….’’ මම ඇසීමට පටන්ගත්තා පමණි.
‘‘ මම දන්නෙ නෑ මේරියන්.. මම ලේඛිකාවක් වුණත් කිසිදාක ඔවැනි දේ විස්වාස කළේ නෑ..ඒ වගේම විද්‍යාත්මක සංකල්ප මට කවදාවත් සමීප වෙලත් නැහැ..ඔබ ඒක දන්නව මේරියන්.. මොකද ඔබ මම නිසා..’’

මම හිස වැනීමි. ඔව් මට විද්‍යාව අප‍්‍රසන්නය. දෙවියන් වහන්සේව ප‍්‍රශ්න කිරීමට ලක්කරන පාපකාරී විෂයක් වීමම මදැයි.

‘‘ කොහොම නමුත්..අපි ඔබට වඩා විනාඩි විස්සක් ඉදිරියෙන් සිටි පිරිසක්. ඊයේ.. හරියටම මම ඔබේ මුළුතැන්ගෙයි මතුවූ වෙලාවට වඩා පැය විසි හතරකට කළින්, ඬේන් මුළුතැන්ගෙයි සෙල්ලම් කරමින් හිටියා. මම හිටියේ ඇපල් පුඩිමක් තම්බමින්..’’

මම මතක් කළෙමි.ඇපල් පුඩින්. ඊයේ හවස්වරුව විනාසකළ ඇපල් පුඩිම.

‘‘ ඬේන්ට වුවමණා වුණේ මම එයා එක්ක සෙල්ලම් කරන්නයි. මම පොරොන්දු වුණා..මම වැඩ අහවර කරනකම් එයා මුළුතැන්ගෙයි සෙල්ලම් දුම්රියක් එලවමින් සිටියා.
එයා උදුනේ ටයිමරය විනාඩි විස්සක් පසුපසට කැරකෙව්වේ ඒ වෙලාවේ…’’

‘‘ ඊට පස්සේ මයිකල් ගෙදර ආවා .. ඬේන්ව බැනුම්වලින් බේරගන්න එයා ටයිමරය යාන්තම් ඇටෙව්වා..’’ මම සුසුමක් හෙළීමි. ‘‘දත් දොස්තරලා මොනවද දන්නෙ මේ වගේ දේවල් ගැන ..’’
ඇයත් සුසුමක් හෙළුවාය.

‘‘හැමදේම කිසිම වෙනසක් නොවෙන්න තිබුණා, මගේ ලෝකේ ඒ සිදුවීමට හරියටම පැය විසි හතරක් සම්පූර්ණවෙද්දි ඔයා ආයෙමත් උදුන ක‍්‍රියාත්මක කරලා ටයිමරය විනාඩි විස්සකට ළකුණු නොකරන්න..’’
‘‘ ඒ කියන්නේ මේ හැමදේම මගේ වැරැුද්ද?’’ මම ඇසුවෙමි. (කුමණාකාර ව්‍යාකූල මොහොතක වුවත් අසාධාරණ චෝදනාවන්ට ලක්වීමට මම අකමැති වීමි.)

‘‘ මේරියන්…’’ ඇය යළිත් සුසුමක් හෙළුවාය. ‘‘ මේක කාගෙවත් වැරැුද්දක් නෙමෙයි.. අපේ ලෝක දෙක අතරෙ තියෙන්නේ විනාඩි විස්සක වෙනසක්. තව විනාඩි කිහිපයකින් ඔයාගේ ලෝකෙත් ඊයේ සිදුවීමට පැය විසි හතරක් සම්පූර්ණ වෙනවා. මගේ ඬේන් ටයිමරය ආපස්සට කැරකෙව්ව වෙලාවෙම ඔයාගෙ ඬේන් ටයිමරය කැරකෙව්වා..එ්ක එහෙම්පිටින්ම අහම්බයක්…’’

‘‘ මොහොතක් ඉන්න..’’ හදිසියේ ම මට යමක් මතක් විය. ‘‘ මගෙ ඬේන් ටයිමරය විනාඩි විස්සක් පිටිපස්සට කළේ නෑ..’’
‘‘ මොකක්?? එහෙම වෙන්නෙ කොහොමද? ’’ අනෙක් ලෝකයෙන් ආ මම නොවේ මම විමතිය පළ කළා ය.
‘‘ ඔව්.. ’’ මම ජයග‍්‍රාහී ලීලාවෙන් පැවසුවෙමි. ‘‘ නෑ නේන්නම්.. එයා කළේ ටයිමරය හිර කරපු එක.. ඉස්සරහටවත් පස්සටවත් කරකවන්න බැරි විදිහට. ඔයාගේ ඬේන් විනාඩි විස්සක් පිටිපස්සට ටයිමරය කැරකෙව්වා.. මගෙ කොල්ලා ඒ වෙලාවෙම මේ ලෝකෙ ඉඳන් ටයිමරය හිරකළා..’’
‘‘ ඕ ගෝඞ් !’’ඇය හිසේ අතගසා ගත්තාය.
‘‘තේරෙන්නෙ නැත්ද? ඒක එහෙම නොවෙන්න අපේ ලෝක දෙකේ වෙලාව සමපාත වෙන්නෙ නෑ..’’
‘‘ දැන් ඊට පස්සෙ..?’’
‘‘මොනම ක‍්‍රමේකින් හරි ඔයාව ගෙදර යවන්න ඕන..’’මම කීවෙමි. ‘‘ඊට පස්සෙ මම මේ මඟුල් උදුන ගිනිතියල දානවා..’’ මම කීමි.

‘‘ ඒත් ඊට කලින්, ඔයා කොහොමද මේක තනියම තේරුම් ගත්තේ? ඔයා කියන්නේ ඔයා මට වඩා බුද්ධිමත් කියලද? ’’
ඇය ඇසුවාය.
‘‘ මේ.. ’’ මම මේසය මත වූ පැරණි සඟරාව පෙන්වූයෙමි.

එහිවූයේ සමාන්තර විශ්ව දෙකක් ගැන කතාවකි. විද්‍යා ප‍්‍රබන්ධ පිළිකෙව් කළ මට එහි වූ කතාව සැකෙවින් කියෙව්වේ මයිකල් විසිනි.

මේ අතදැකීම ඊට බොහෝ සමාන බව මට වැටහෙමින් තිබුණි.
‘‘ එකම කතාව.. ’’ මම කීවෙමි.

‘‘ මේක අපේ ගෙදරත් තිබුණා..’’ ඇය කීවාය. ‘‘මට මේ කතාව කියෙව්වෙ මයිකල් ’’ ඉනික්බිති ඇය ඇස් විශාල කරගෙන මා දෙස බලා සිටියාය.

‘‘ ඕ ගෝඞ්…!මේ කතාව ඉවර නෑ..’’
‘‘මොකක්… ?’’ මම ඇසීමි.
‘‘ඔයා මුළු කතාවම ඇහුවෙ නෑ..! නේද?, ’’ ඇය ඇසුවාය.
‘‘නෑ.. මම ඒක අහන්න කැමති වුණේ නෑ.. සමහරවිට එයා කියන්න ඇති.. එ්ත් මගෙ ඔළුවට ගියේ නෑ..’’ මම කීමි.
‘‘මේක ලූප් ස්ටෝරි එකක්..’’
‘‘ ඒ කියන්නෙ..??..
‘‘දෙවියනේ.!!.මේ වෙත්දිත් තව කොහෙහරි ලෝකෙක ඬේන් කෙනක් ටයිමරයක් කරකවලා තියෙනවා.. ඔයාට තේරෙනවද ?’’ ඇය ජනේල පඩිය මත වූ ඔරලෝසුව දෙස බැලූවාය.
’’ තව තත්පර කිහිපයකින් මම ඇවිල්ලත් විනාඩි විස්සක් ඉවරවෙනවා. ’’
ඇය කීවාය.

මම තෝන්තු ස්වභාවයෙන් අසා සිටියෙමි. විනාඩි විස්සකට එහායින්දී ලෝකය සෑහෙන්නට යහපත්ව තිබූ බව මට මොනවට ඒත්තු ගියේ ය.

නැවතත් දොර සීනුව නද දුන්නේ ඒ මොහොතේය.







Nissanka Rajapaksa

unread,
Sep 10, 2024, 7:52:59 PM9/10/24
to INDRAKA group
13
මග හැරුණ කඳුල

- chaminda pradeep silva gunarathne


අඬන්නටයි කියලා එහෙමත්ම බර කඳුලු අම්මගේ දැසේ තිබුනේ නැත... අම්මා ජීවිත කාලය පුරා එතරම්ම් හඬා තිබිණි..." අන්න උඔලගේ මහ එකාව අදත් පොලිසිය අරන් ගිහිල්ලා" අම්මා කිව්වේ කියන්නට කෙනෙක් නැති නිසා වන්නට පුළුවන... මොනා කරලද මෙදා පාර..?
 
වෙන මොනවද? අර කරුනෙගෙ කසිප්පු වාඩියේ ලැගලා...
 
උසාවි දාලා තියෙන්නේ කවදටද?
 
මා එසේ විමසුවේ එම සිද්ධිය මා හට එතරම්ම බර පතල නැති බැවිණි...
 
පව්......! මා එසේ කිවා නොවේ කියවිණි...
 
අනේ මන්දා ගේ දිහෑ පිච්චියක්වත් නැහැ.. පොඩි එකාගේ පංචායුදේ විතරයි තියෙන්නේ.. සෝමෙ අක්කට දීලා රුපියල් පන්සීයක් වත් ඉල්ලගන්න බලන්න මම මේ යන්ටේ කියලා... මල්ලිව බලා ගනින්..
 
කරුනේ මාමා තාත්තව එළියට ගනිවි.. මොකද මේ පළවෙනි වතාව යැ මෙහෙම උනේ...
 
මා කටින් නොකිව යුතු යමක් කියවිණි..
 
මොකද බොලට හතර මහ නිදානේ පහළ වෙනවද මහ මිනිහා හිරේ වැටුනහම... දවස් දෙක තුනක් කන්නේ අහවල් එකයැ...
 
හ්ම්.....
 
මා කිසිවක් කියන්නට ගියේ නැත..
 
මහ මිනිහා හැමදාම කොලේ බැරල් කරගහපු එකයි උසාවි නැඟපු එකයි විතරයි... කරුණෙලා රජවරු වගේ වැඦබෙනවා... තූ නොදෝකින් පාහර හැත්ත...
 
මල්ලි පංචායුදේ ගලවලා දුන්නද? මා විමසුවේ මඳ සිනාවකිනි...
 
හ්ම්.. නහයෙන් අඬලා අඬලා ඔය දුන්නේ....
 
අහිංසකයා... මා මල්ලි ගැන දුක් වුනෙමි..
 
තාත්තා මේ හැමදේම කලේ අපි වෙනුවෙන් වුවත් අපි තාත්තා මඟ හැරීමට උත්සහ කලෙමු... හේතුව ලැජ්ජාව විය යුතුය.. අප කොතරම් අසාදාරනදැයි මම මගෙන්ම ප්‍රශ්ණ කලෙමි...
 
මහා බරැති බැරල් ඔසවා යන තාත්තා නවතින්නේ දෙබොක්කාවේ වක්කඩ අසලය... කිලෝ මිටරයක් පමන ඔහු හැල්මේ එය ගෙන යයි... පසුව දර මිටිද.. සීනි මිටිද ඔසවා එසේ හැල්මේ දුවයි.. පසුව ගිණි ජාලා මැද වඩිය පෙරාගනි.... පසුව බූලි පුරවා නැවත කරුනාගේ තිප්පලට එයි.. මේ සියලු කාරනා ඉටු වූ පසු තාත්තාට ලැබෙන සොච්චම ගෙන තාත්තා දුවන්නේ පියසීලී අක්කාගේ කඩයට ය.. හැකි උපරිම බරට මල්ලක් ඔසවා ඔහු නිවසට එයි... හැන්දෑවේ තාත්තා එසවූ බර කන්ද පොළවේ තබන්නේ උදේ බඩු මල්ල කුස්සියේ තැබූ පසුවය..
 
තාත්තා මහන්සියට දහවල් දවසම නිදයි.. එයද කුකුල් නින්දකි.. වාහන හඬක් කන වැකුණු විගසම අවදිවන්නේ ගැහෙමිනි... පොලීසිය ,. උසාවිය.. මහ උළු ගෙදර තාත්තාට අළුත් නැත.. එහෙව් තැන් වල අලගිය මුලගිය තැන් දනි.. සියළු නිළධාරීන් හොඳින් හඳුනයි... නමුත් කිසිදු පිළිගැණීමක් නැත...
 
තාත්තා අපගැන සොයා බැලුවාද නැද්දැයි යමෙකු මගෙන් විමසුවහොත් මා හට දීමට පිළිතුරු නැත.. හේතුව අපද තාත්තා කසිප්පු කාරයා යැයි හණ ගසා තිබෙන නිසා විය යුතුය...
 
තාත්තා බේබද්දෙකු නොවේ.. නමුත් නොබොන්නෙකුද නොවේ.. අනෙක් ගම් වැසියන් මෙන් ගහ මරා ගැණිම් දකින්නටවත් යන්නේ නැත.. ඔහු වැඩිපුර වෙසෙන්නේ හුදකලාවම ය..
 
මා තාත්තා ගැන මතකාවර්ජනයක යෙදුනෙමි... තාත්තා තාත්තා වෙනුවෙන් කරගෙන තියෙන්නේ උසාවි පොලිසි ගානේ නම සටහන්කර තැබිම පමණි.. අන් සියල්ල අප වෙනුවෙන්මය. අළුතෙන් යැයි යමක් ඔහු ඔහු වෙනුවෙන් කවරදාකවත් මිළදි ගෙන නැතුවා විය යුතුය.. කමිස දෙකක් සරම් දෙකක් හෝ තුනක් හැරුණුකොට කිසිවක් ඔහු වෙනුවෙන් නොමැත.. අඩුපාඩු වෙතත් බොහෝ අඩුපාඩු තාත්තා අප වෙතින් දුරස් කර තැබූහ.. කැමට යමක් වැරදුනේ නැත.. කොටින්ම අප බඩගින්නේ සිටියේ නැත..
 
අම්මා නැවත පැමිනියේ රුපියල් පන්සියයක්ද අතැතිවය... 
 
අම්මේ තාත්තව බේරගන්න කියක් දෙන්න වෙයිද?
 
මොකද උඔ දෙන්නද?
 
නැහැ...... මගේ මේ මාලෙට කීයක් බැංකුවෙන් ගන්න පුළුවන්ද?
 
ඔය බොලාගේ අත්තම්මා උඔ ඉපදිච්ච වෙලේ කරේ දැම්ම එක.. උන්දෑ මතක් වෙන්නත් ඔච්චරයි තියෙන්නේ .. අම්මා හූල්ලයි..
 
කීයක් ගන්න පුළුවන්ද කියන්නකෝ..
 
විසි දාහක් විතර පුළුවන් වෙයි.. මොකද උඔ එහෙම අහන්නේ...
 
නෑ මුකුත් නැහැ... අම්මා යන්න පරක්කු වෙයි....
 
මල්ලිව හොඳට බලාගනින් මං එනකල්.....
 
අම්මා එසේ කියා ගියේ සුදු සාරිපට යාන්තමින් පටලාගෙන ය.
 
අම්මා ගොස් ටික වේලාවකින් මල්ලිව සිරියාවති නැන්දාට භාර දි මා ග්‍රාමිය බැංකුවට ගොස් මාලය උකස් කර ගතහැකි උපරිම මුදල ලබාගතිමි.. රුපියල් විසි හය දහසක් එහි විය...
 
තාත්තට බයිසිකලයක් හදවලා දෙන්න ඹ්නේ පිටිපස්සට බඩු ගෙනියන්න පුළුවන් වෙන්න ලොකු බක්කියකුත් ගහලා... පොලේ මාමාගෙන් එළවළු ලොරියේ උදේම කොළඹ ගියානම් අඩු ගානට හුඟාක් දේවල් ගන්න පුළුවන්.... මේ අපේ තාත්තා.. අපිට වෙන කවුරුවත් නැහැ.. තාත්තට මොකක්හරි උනොත් අපි ඔක්කෝම මහ පාරෙ තමයි..
 
රැලේ තරමක් පැරණි බයිසිකලයක් පාල අයියාගේ වින්කලයෙන් මිලට ගතිමි .. හන්දියේ පට්ටලයට බයිසිකලය දුන්නේ බක්කියක් රෝද දෙකක් දමා සාදවන්නටය... සියල්ල නිමවා කිසිවක් නොවුනු ලෙස මම නිවසට ගියෙමි... අම්මා ගෙදර පැමින නැත... මම මල්ලිද එක්කොට නිවසට ගියෙමි..
 
හතර පසුවිය... අම්මා හෝ තාත්තා තවම නැත.. හතර පහ වූයේත් පහ හය වූයේත් තත්පර මිනිත්තු කරමිනි...
 
හැන්දෑවේ හතට පමන අම්මා ගෙදර පැමිනියේ බොහෝ පිරිසක් සමඟය....
 
කෝ අම්මේ තාත්තා...?
 
අම්මාගෙන් පිළිතුරක් නැත...
 
කෝ අම්මේ අපේ තාත්තා.....? මම කෑ ගැසීමි.....
 
උඔලෑ තාත්තා එන්නෑ පුතේ.... අම්මා මට පුතේ කී පළමුවර එයයි..
 
මොකක්ද වෙලා තියෙන්නේ...? කියන්න....? මම බැගෑපත් වුනෙමි...
 
කිසිවෙකු කිසිවක් නොකියයි......
 
කියපිය යකෝ තාත්තට මොකද උනේ..?
 
පියදාස අයියා කෝච්චියට බෙල්ල තියලා...
 
මා සිහි විකල් විය..
 
පොලීසියේ ඉඳපු මිනිහා කොහොමද එහෙම මැරෙන්නේ..? මම මහ හඬින් කෑ ගැසිමි..
 
උදේ දහයට විතර තාත්තව අවවාද කරලා අළුත් ලොකු මහත්තයා ගෙදර එවලා... තාත්තා පොලිස් ලොකුමහත්තයත් එක්කලා අපේ හැම විත්තියක්ම කියලා.. අපි දෙයියෙක්ව මරාගත්තා... අම්මා මොර දෙයි.. අපි උඔලගේ තාත්තව තනි කලා.... තාත්තා අපිට නොකිවට එව්වැයින් විඳවලා... ඊයේ රෑ එළිවෙනකල් බඩගින්නේ ඉඳලා කන්න ගෙනත් දෙන්න කවුරුත් හිටලා නැහැ... ලොකු මහත්තයා අහලා උඔලෑ ගෙදර එවුන් මැරිලද කියලා... උඔලෑ තාත්තා කෑ ගගහා අඬලා.... මට කවුරුවත්ම නැහැ මම මහ කාලකණ්නියෙක් කිය කිය... උදේ ලොකු මහත්තයා අනුකම්මපා කරලා ගෙදර එවලා... අනේ දෙයියනේ මොන විපත්තයක්ද උනේ .. එහෙම්මම ගිහින් හිතේ අමාරුවට කෝච්චියට පැනලා....
 
පසුදින තාත්තාගේ මිනිය ගෙදරට ගෙනෙන්නට මොහොතකට පෙර පට්ටලේ අයියා තාත්තා වෙනුවෙන් සෑදවූ බයිසිකලය නිවයේ ඉදිරිපස මිදුලේ නැවැත්වූයේ අපිට හෙට ඉඳලා පියදාස අයියගේ එලෝලු කන්න පුළුවන් කියමිනි..
 
මා බයිසිකලයේ පැඩලය දෙතුන් වරක් කරකවා බැලුවේ මාහට පවුලක බර අදින්නට එය සවිමත්දැයි කියාය. ..





Nissanka Rajapaksa

unread,
Sep 11, 2024, 8:51:37 PM9/11/24
to INDRAKA group
14

දඬුවම

- උත්‍රා කුමාරි රණසිංහ 

උඳුවප්මාසය පුරා පවතින ශීතල කාලගුණය
ගැනවත් වත්සලාට අවධානයක් නොතිබුනේ
දුරු රටකට යාමට තිබූ දින ගණන ලං ලංව පැමිණි හෙයිනි. පාසැල් ඇරී ගෙදර එන දරුවන් දෙදෙනා දෙස බලන හැම වාරයකදීම ඇයගේ දෙනෙත් කඳුළෙන් තෙත්විය. ඇය ඔවුන්ට නොපෙනී හඬන වාර බොහෝය. වෙනදාටත් වැඩියෙන් දරුවන් තුරුළු කර ගෙන සිපගත් වාර ගණන වැඩිය. තමා සතු සියලු වස්තූන්ගෙන් බැහැර වීම ඇයගේ හදවතට දැනුණු දැඩි අපහසුවයි. 

ඇයගේ සැමියා වූ රංජිත්ව දකින හැම වාරයක්
පාසාම ඇගේ හදවතට මහත් දුකක් ඇතිවුනි.
තුරුණු වියේ හටගත් ආදරයේ ආවේගයෙන්
සඳ පහන් රැයෙක ඔහු හා ආ මේ ගමනේදී
ඇයට පවුල් සබඳතා සියල්ල අහිමි වී ගියේය.
නමුදු දිවිගමනේ දුෂ්කරතා මැද ඔවුහු දෙපළ
දුක සැප සමව බෙදාගත්හ. වත්සලා මේ ගමන යාමට තීරණය කළේ ද ඔහු විඳින  
දුෂ්කරතා වලට පිළියමක් සොයා දීමේ අහිංසක අරමුණු පෙරදැරි කරගෙනය.
ආරක්ෂක නිලධාරියෙකු ලෙස ආයතනයක
සේවය කරන රංජිත් ලබාගන්නා වැටුපෙන්
තමන්ගේ පවුලේ මූලික අවශ්‍යතාවයන් වත් 
සපුරා ගැනීමට අසීරුය. වසරින් වසරට මාරු
කරන කුලී ගෙවල් ගණන අතේ ඇඟිලි ගණනටත් වැඩිය. තමන්ගේ සොහොයුරන්
තම තමන්ගේ නිවෙස්වල සතුටින් ජීවත්වෙද්දී
ඇය ආත්මානුකම්පාවක ගැලී සිටියාය. තම සැමියා ණය බරින් තොර ස්වාධීන මිනිසෙකු
කිරීමත්, දරුවන්ට ඉන්නට ස්ථීර නිවහනක්
තනා ගැනීමත් ඇයගේ අභිලාෂය විය.
ඒජන්සි ආයතනයක් හරහා ගෘහසේවය
සඳහා මැදපෙරදිග යාමට ඇය තීරණය කලේ 
ඉන් පසුවය.

"වසා...... හැම තිස්සෙම ඇයි ඔයාගේ ඇස්වල
කඳුළු.....? ඔයාට යන්න බැරිනම් නොයා ඉන්න...."
රංජිත් වත්සලා දෙස අවධානයෙන් බලා සිට කියූ වාර අනන්තය.
"ඔයාට යන්න කියල කවුරුත් බල කලේ නැහැනේ.....,
මට පුලුවන් විදියට මම මේ බර අදින්නම්"
රංජිත් ඉවත බලාගෙන කියාගෙන ගියේය.

"හරි..... හරි මම ආයේ අඬන්නේ නැහැ." කියූ
වත්සලා සිය සැමියාගේ උරහිස මත හිස තබාගෙන ඇතිවන තුරු හැඬුවාය. ඔහු ඇයගේ හිස හා නළල ස්නේහයෙන් සිපගනිද්දී
ඇයට මහත් අස්වැසිල්ලක් දැනුණි. තමන්ගේ
කැදැල්ල තුළ පවතින සෙනෙහස අන් කිසි 
තැනකදී... අත්විඳින්නට නොවන බව ඇයට
දැණුනි.

ඔවුහු ළං ළංව ඉඳගෙන අනාගතය ගැන බොහෝ දේ කතා කළහ. සැන්දෑ ඉර බැසගෙන
 ගොස් වර්ණවත් ලා තැඹිලි පැහැයකින්
වළාකුළු දිස් විය. කුරුල්ලෝ රෑන් පිටින් ඉගිලී
ගියේ ලතාවකට පෙළ ගැසෙමිනි. සිහින් පවන්
රැළි ගත සිත සිහිල් කළේය. අලුත් හුස්මකින්ම
මුළුතැන්ගෙට ගිය වත්සලා ආහාර පිළියෙල
කිරීමට පටන් ගත්තාය. දරුවන් අතිරේක
පන්තිවලට ගොස් ආපසු එන වෙලාවට ආහාර
පිළියෙල කොට තැබිය යුතුය.

වත්සලා සමුගත් දිනය ගෙවී ගිය අයුරු රංජිත්ට සිහිනයක් මෙනි. දරුවන් මිත්තණිය
ඇසුරේ කල් ගෙවද්දී ඔහු වත්සලා නැති සොවින් යහනටම වී කල්පනා අතරේම කාලය 
ගෙවා දැමීය. රිදීම්.... විඳවීම් හා පසුබෑම් මැද
රංජිත්ගේ ජීවිතයේ හැම දිනයක්ම සිනහවකින් තොරව ගෙවී ගියේය.

වත්සලා ඇතුළු පිරිස රැගත් ගුවන් යානය
කුවේට් රටේ ගුවන් තොටුපොළ වෙත ළගාවුනේ රාත්‍රි හතට පමණි. ඒජන්සිය භාර
කාන්තාව ඇයත් තවත් කාන්තාවන් කිහිප
දෙනෙකුත් මෝටර් රථයක නංවාගෙන ඒ රටේ ඒජන්සිය දක්වා කැටුව ගියාය. ගෘහසේවිකාවක් ලෙස අරාබි නිවෙස් තුළ දී 
කළ යුතු කාර්යයන් හා පිළිපැදිය යුතු නීතිරීති
මාලාවක් ඇය පැහැදිලි කළේ ගාම්භීර විලාසයකිනි. ඇය ගත පුරා ගැල්වූ සුවඳ විලවුන් වලින් සැර සුවඳක් වහනය විය. වත්සුනු තැවරූ මුහුණ ප්දර්ශනයකදී දුටු ඩමියෙක් සිහිගැන්වීය. වත්සලා කැටුව යාමට පැමිණි අරාබි යුවළ පැමිණියේ රාත්‍රි දොලහට
පමණි.

කුවේට් රටේ ජහරා නගරයේ දෙමහල් නිවසක
ඇය සේවයට ආ බව දැන සිටියද... ඉන් අවට
ලෝකයක් හෝ බාහිර මිනිසුන් පිළිබඳව වත්සලාට අවබෝධයක් නොවීය. ජාතියෙන්
ආගමෙන් භාෂාවෙන් හා සංස්කෘතික රටාවෙන් බොහෝ බාහිර වූ මේ මිනිසුන්ගේ
හැසිරීම් දෙස බලා සිටින්නට වත්සලා ආශා කළාය.

දැන් ඇයට නිවසේ කටයුතු කාලසටහන
පුරුදුය. දෙමහල් නිවසේ සියලුම කාමර විදුලි මැෂිමෙන් මැද නාන කාමර හා මුළුතැන්ගෙයි
සබන් මුසු කල ජලයෙන් සේදිය යුතුය. උදේට කිරි බිත්තර හා රොටී ද පිළියෙල කල යුතුය .
දිනකට ඇය අතින් සේදෙන රෙදි මෙන්ම මදින රෙදිද ගණන් කල නොහැකි තරම්ය. පාසැල් කාලය තුළදී ඔවුන් පිබිදෙන්නේ උදේ හයට වුව ද වත්සලාට පිබිදීමට ඇත්තේ උදෑසන පහටය.
කුඩා දැරිය අසනීපව ඇතිහෙයින් කාමරය
තුළින් නිතර කෑගැසීම් ඇසෙයි. ගෙහිමියා හා ගෙහිමි කාන්තාව ඉතා සැර පරුෂය. ඔවුන් යමක් කියන හැම මොහොතකම වත්සලා බියෙන් තැති ගනී. නිවසේ සිදුවන කුමන හෝ
කලබලයක් අවසන් වන්නේ වත්සලාට ගුටිබැට දීමෙන් බව අත්දැකීමෙන්ම ඇ දන්නා කරුණකි.

රාත්‍රි දොළහට පමණ වැඩ නිම වී බිම එලාගත් මෙට්ටයේ කකුල් දිගහැර ගන්නා වත්සලා
 ලංකාවෙන් ගෙන ආ බෙහෙත් තෙල් කුප්පියේ
තෙල් ගෙන හොඳ හැටි කොන්දේ හා පාදවල ඒවා තවරා ගන්නේ ගතේ වේදනා ඒ තුළින්වත්
සමනය කර ගන්නා අටියෙනි. තම නිදන කොට්ටයේ උරය යට සඟවා තබා තිබෙන බුදුරුව සහිත වෙසක් පත දෙස කඳුළු පිරි දෙනෙතින් බලා සිට එයට දොහොත් මුදුන් දී
වැඳීම ඇය දිනපතාම කරන කාර්යයකි. තම
පුතනුවන් විසින් අත් බෑගයට දැමූ මේ වෙසක් පත දෙස බලමින් ඇය පතන්නේ තම දරුවන් හා සැමියා දැකගැනීමේ දිනය ඉතා ඉක්මණින්
ළගා වි යුතු බවයි.
එදා ඇය වැඩකළ නිවසේ විශේෂ උත්සවයක් පැවතිණ. මරාගත් සතුන්ගේ මස් ලේ සහිතව 
තැටි පුරා ගොඩ ගැසී ඇත. තුනපහ දමා ඒවා තම්බා දීමට වත්සලාට අනක් ලැබුනද ඇය ඒවා කලේ අපමණ අපුලකිනි. නිවසේ වැඩ අතරම දරුවන් රැකබලා ගැනීමත් පැවරිණ.
අමුත්තන්ගේ හා නිවසේ පොඩි දරුවන්
පොකුරු පිටින් සෙල්ලම් කරද්දී ද, ඔවුන් අරගල කරන්නට පෙළබෙන වාර වලදී ද,
වත්සලාට මහත් වෙහෙසක් දැණිනි. තරප්පු
පඩිපෙළ මත හිඳගත් වත්සලා කල්පනා
ලෝකය මෙහෙයවූයේ තම සැමියා හා දරුවන් පිළිබඳවය. ඔවුන් ගැන සිතීම පවා ඉතාම මිහිරි මතකයක ජීවත්වීමකි. දඩාස් ශබ්දයෙන්
ඇය සිහින ලෝකයෙන් මිඳුනාය. නිවසේ දඟකාර කුඩා දැරිය තරප්පුව පාමුල වැටී
හිස අල්ලාගෙන හඬමින් සිටියාය. හනික දරුවා වඩාගත් වත්සලා හිස අතගා තෙමූ රෙදි කඩකින් හිස තැවුවාය. දරුවා නිහඬව සිටියේ
වුවද තමාගේ දරුවන් මේ ආකාරයට කොතරම් බිම වැටී ඇතිදැයි ඇය සිහිපත් කලාය. එය බරපතල කාරනයක් නොවූ හෙයින් ඇය සිත සැහැල්ලු කර ගත්තාය.

නිවසට ආ අමුත්තන්ද ගෙහිමි යුවළද දරුවා
සනසවද්දී බියෙන් තැතිගත් වත්සලා ගෙයි මුල්ලකට වී හැඬුවාය. ඒ ඇයට මුහුණ දීමට වන දඬුවම ගැන සිහිවී බියෙනි. මධ්‍යම රාත්‍රිය
 වන විට නිවස හිස් විය. පැමිණ සිටි පිරිස්
මෝටර් රථවල නැගී පිටත් වූහ. නිවසේ දොරවල් සියල්ල වැසිණ. ගෙහිමියා වත්සලාට
ඇමතූ ආකාරයට ඇයට බියක් දැනී පය පැකිළව නොවැටුනත් ඇය ලගට ආ ඔහු ඈ
ඇද සිටි ගවුමේ කරෙන් ඇදගෙන නොනවත්වාම අරාබි බසින් ගෝරනාඩු කළේය. ඇයගේ හිස නොනවත්වාම බිත්තියේ ඇනගෙන ඇනගෙන ගියේය. උණු ලේ දහරාවක් මුහුණ පුරා ගලනු ඇයට දැණින.
ගෙහිමි කාන්තාවගේ හිනා හඬ බිත්ති අතර
දෝංකාර නැංවෙද්දී මුළු නිවසම කරකැවෙමින්
තිබෙනු අඩ සිහියෙන් මෙන් වත්සලාට දැනුණි.
ඇය බිත්තිය අල්ලාගෙනම බිම ඇද වැටුනාය.
කිසිවෙකුගේ ඇසට නොපෙනෙන ඒ රාත්‍රී යේ අරාබි යුවළ සිහිසන් වූ වත්සලාව ඔසවා
තරප්පු පෙළින් පහලට ඇද දැමූහ.

මනුෂ්‍යත්ව භාවයෙන් තොර වූ කූඨප්පාරප්තිය
විසින් ඇතිකරන ලද විපාක අනුව වත්සලා 
සදහටම ආබාධිත තත්වයට පත් වූවාය.
ඉණෙන් පහල කොටස පණ නැති වී අත් පා බෙළහීන වී ඇතිබව ඇයට දැනුනේ රෝහල් ගතව සිටි අවසන් කාලයේය.

ඇය ලංකාවට එවීමට සියලු කටයුතු සූදානම් කර තිබිණ. ගුවන් තොටුපළකින් තවත් ගුවන් තොටුපළකට ආ බව ඇය දැන සිටිය ද මතකයේ නිරවුල් භාවය රඳවා ගැනීමට අසමත් විය. මායා පටලයකින් වැසී ඇති රූපයක් තමා ඉදිරියට දිව එනු ඇයට පෙණින. ඒ රුව තම ආදරණීය සැමියාගේ යැයි සිතාගත නොහැකිව ඇය කඳුළු වියලුණු දෙනෙතින් ඔහේ බලා සිටියාය.

"ශිිු ලාංකික ගෘහ සේවිකාවක් උඩුමහලින්
 බිමට පැන සිය දිවි නසා ගැනීමට තැත් කරයි"

පුවත් පතක එසේ පළවී තිබිණ.




Nissanka Rajapaksa

unread,
Sep 12, 2024, 8:07:54 PM9/12/24
to INDRAKA group
15
අඩු මිනිසා

- චමිල් හර්ෂණ 

උදෑසන සිට සිතේ පිරී පවතින අලස ගතියෙන් මුළුමනින්ම නොමිදීම, ආලින්දය කරා සෙමින් ඇදී ගිය රම්‍යා,මිදුල දෙසත් ඉදිරිපස පෙනෙන පාර දෙසත් යන්තමින් බලා, යලිත් හැරීගොස් සිය කාර්යාල කාමරයේ දොරපියන හැර ඇතුලත දෙස බලා සිටියාය. වෙනදා ඇය වහා කාමරයට ඇතුල් වෙයි. මේසය අස්පස් කරයි. පහන දල්වයි. අද ඒ කිසිවකට එතරම් කඩිසර කමක් නොනැගෙන්නේ මන්දැයි ඈ නොදත්තාය.


මදකට කලින් පුතා අන්දවා පාසැල් වෑන් රියට ගොඩ කරවා යවා තනිවූ පසු, "නිවස" පාළුව දනවන විශාල අවකාශයක් බවට පත්ව ඇත. රාජකාරි වැඩක් සදහා ටික කලකට විදේශ ගතවූ සැමියා, සාමාන්‍යයෙන් සතියකට දෙතුන්වතාවක් කතා කලද, අද වඩා වැඩිපුර සිය මතකයට පැමිණෙතැයි ඈ සිතුවාය. උදෙන්ම දරුවා ඇහැරවාගෙන කවා පොවා අන්දවා පාසැල් පොත් බෑග් සකසා කරේ පලන්දවන අතරද, ඇය කීපවිටක් ම ඉබේටම මෙන් එසවුනු දෑසින් දුරකතනය දෙස බැලූවාය.


කාමරයට ඇතුලූවී ජනෙල් පියන් ඇර දැමූ රම්‍යා උදෑසන එළියත්, සුළ`ගත් එතුළින් ඇතුල් කර ගත්තී, මේසය මත වූ තම පොත් ටික පිළිවෙලට තබා, මුල්ලට වන්නට තැබූ බෝඩ් ලෑල්ල ගෙනවිත් ඉදිරිපස කණුවේ හේත්තු කළාය.


" ඉසිවර ජ්‍යොතිෂ්‍යය කාර්යාලය

හ`දහන් බැලීම, පොරොන්දම් ගැළපීම,

නම් තැබීම, නිවාස වර්ග කිරීම හා වාස්තු විද්‍යා උපදෙස්

ඇතුළු සියළුම ජ්‍යොතිෂය කටයුතු සදහා. "


මේ සතිය තුලත් සැලකිය යුතු පිරිසක් නොපැමිණි වග සිහි කළ රම්‍යා අදත් ඒ ගැන එතරම් නොසිතුවාය. සෙමින් අතුගා කාමරය පිරිසිදු කොට පුටුවේ හිද ගත් ඈ පොතක් ගෙන මුල සිට අගටත් අග සිට මුලටත් පිටු පෙරලෙන්නට හැරියාය. ඉන් නැගෙන සිහින් සුලං හඩට සිත යොමුකරමින් පාර දෙස බලා සිටියාය.


ඈත සිට තම නිවස දෙසට ඇදෙන කාන්තා රුවක් දැකගත් රම්‍යා ඇය අසල ගමක තමා මදක් දන්නා හදුනන යුවතියක වග හදුනා ගත්තාය.


—රම්‍යා ඔයාට මතකයි නේද මාව..˜


පැමිණ කාමරයට ඇතුළු වූ ඇය, හිදගන්නා ලෙස අතින් සන් කල රම්‍යාගෙන් හිදගන්නට කළින් විමසුවාය.


— මොකෝ මතක නැතුව,.කෙල්ලෙ .. හොදට මතකයි.˜

— ඔයාට මතකද ඔයා මගෙ හ`දහන බලල කියපු දේ˜

— ආහ්.. ඒකනං මට මතක නැහැ.. .. ඉතින්..˜

— .. ˜

සිනාසෙන ගමන් ඈ කතා කළාය.

— ඔයා කිව්වා .. මං කසාද බදින්නෙ අඩුපාඩුවක් තියෙන මිනිහෙක් කියලා.˜

—..˜

—ඉන්න, ඉන්න .. මට මතකයි.. හරි දැන් හොදට මතකයි. ..ඉතින්..˜


නැවතත් සිනාසුනු ඇය අතෙහි වූ කාන්තා බෑගය හැර එයින් රුපියල් සියයේ නෝට්ටු දෙකකුත් සිය හදහනත් ඉවතට ගෙන මේසය මත තබා සෙමින් රම්‍යා දෙසට තල්ලූ කලාය.


—ඒ වෙනකොටත් මම බදින වයස පහු කරන රිස්ක් එකේ හිටියෙ..˜


—හ්ම් ඒක මාත් දැක්ක˜


—මිනිස්සු කොච්චරනං ආවද.. මට කවුරුවත් ඇල්ලූවෙ නෑ ..අඩුපාඩුමයි දැක්කෙ.. කිසි අඩුපාඩුවක් නැති මිනිහෙක් තමයි මං හොය හොයා හිටියෙ. ˜


— මං ඒකත් දැක්ක..හඃ ˜

—මායි අම්මයි හ`දහන උස්සගෙන මෙහෙ ආවම ඔයා කියපුවයින් පස්සෙ මං හිතපු විදිය සේරම වෙනස් වුනා..˜

—...˜

— ඊට පස්සෙ ආපු පළවෙනි මනුස්සයටම මං කැමති වුනා .. බොරුවට නෙමෙයි .. ඇත්තටම මට හිතට ඇල්ලූව..මට බදින්න වෙන්නෙ අඩුවක් තියෙන මිනිහෙක්මනං මං බැලූවෙ.. මොකක්ද මේ මිනිහගෙ තියෙන අඩුව කියල..

.. බුලත් හෙප්පුව ගන්නකොට එක වැලමිටක් පෝඩ්ඩක් විතර එළියට බරකරළ තමයි ඇල්ලූවෙ. .. ඒක මොකක්ද.. පස්සෙ මට කිසි අඩුවක් පෙනුනෙ නෑ.. හැබැයි යනකොට මං හොදට බැලූව එක අතක් පොඩ්ඩක් පැත්තට වෙන්න තමයි තිබුනෙ .. කමක් නෑ.. හොදට විමසිල්ලෙන් බැලූවෙ නැත්තන් ඒක ඒහැටි පෙනුමක් නෑ.. ඔයිටත් වැඩිය ලොකු අඩුවක් තියෙන එක්කෙනෙක් හම්බුනානං එහෙම..! .


— පස්සෙ අපි කසාද බැන්ද.. එයා හරිම හොද කෙනෙක් .. මට හොදට සලකනව.. ඇත්තට ම කියන්න තරම් විශේෂ හොදක් වත් නරකක්වත් එයාට නෑ.. අතිශය සාමාන්‍ය මිනිහෙක්.. අරුම පුදුම වැඩේ ඒක නෙමෙයි රම්‍යා..


.. එයාගෙ අතේ වෙනස ඇති වෙලා තියෙන්නෙ කාලෙකට ඉස්සෙල්ල වැටිල අතකැඩිල තියනව.. ඊට එහා හොදකරන්න බෑ කියල හිතාගෙන හිටියට, පස්සෙ කාලෙක කව්ද යාළුවෙක් එයාව කොහෙද සිංහල වෙදමහත්තයෙක් ගාවට එක්කං ගිහින් .. පස්සෙ අත හොදටම හොදවුනා.. ඔයාට කියන්න සාමාන්‍ය තත්වෙටම ආව.. මං කල්පනාකළේ ඒක කොහොමද වෙන්නෙ කියල.. දැන් මේ මනුස්සයට මං එදා දැකපු අඩුපාඩුව නෑ .. එහෙනං මොකක්ද ඇත්තටම තියෙන අඩුපාඩුව.. මට නොපෙනෙන වෙන මොකක් හරි ලොකු අඩුපාඩුවක් තිබුනවත්ද...


.. ළමයි හම්බුනා ඊට පස්සෙ උන්ගෙ වැඩ .. මට ඕව හිතන්න වෙලාවක් නෑ.. ඒත් විඩෙන් විඩේ හිතට මහ කරදරයක් .. අභිරහස් චරිත තියෙන මිනිස්සු ගැන, ගෑනිට හොරෙන් රහස් ජීවිත ගතකරන මිනිස්සු ගැන කියවන්ඩ අහන්ඩ ලැඛෙන කොට මටත් මහ බයක් දැනුන.. සමහරවිට ශරීරයෙ නැතත් චරිතෙ අඩුවක් නං.. දැන් මේව හිතල වැඩක් නෑ ...කොච්චර කල් ගියාද .. පරක්කු වැඩී .. ලදදෙයින් සතුටු වීම.. මනස්ගාත වලින් වැඩක් නෑ .. ඕව හිතන්න ඇයි මට වෙන ප්‍රශ්න නැතුවටද... ඒත් මොනව හිතල හිත හදාගන්න බැලූවත් ආයෙ ආයෙත් මට මතක් වෙන්නෙම ඒකමයි.. මොකක්ද මං නොදැක්ක අඩුව.. බැරිම තැනයි මං ආවෙ රම්‍ය ..


—නෑ නෑ ඔයා ආපු එක හොදයි.. අපි බලමු..˜


—අපි කියන දේවල් ඒවිදියටම වෙනවයි කියළ මං කියන්නෙ නෑ නංගි. ඒව ඉගි විතරයි. ඇත්තටම ඒව වෙනස් වෙන්න පුළුවන් .. අනික ඇත්තම කතාව මං ඔයාට අද කියන්නං .. එදා මම ඔයාගෙ හ`දහනේ දැක්කෙ ඔයාට කසාද බදින්න හරිම අමාරුයි කියල. ඒවගෙම ඔයාගෙ හිත ටිකක් මුරන්ඩු ගතියක් තියෙන හැම දෙයක් ගැනම බලන කෙනෙක්. සමහර විට අඩු පාඩුවක් තියෙන කෙනෙක් ලැඛෙයි. සමහරවිට නොබැදම ඉදී.. කියල මට හිතුන.. දිගින් දිගටම තියෙන ඔයාගෙ මුරන්ඩුකම නැතිවෙන්නත් එක්කයි. මම කිව්වෙ අඩුවක් තියෙන කෙනෙක්මයි ලැඛෙන්නෙ කියල .. එතකොටවත් ඔයා බුරුලක් දෙන්නෙ නැතැයි... ˜


යුවතිය නෙත් හයා බලා හුන්නාය.



—ඇත්තටම අඩුපාඩුවක් නැතිකෙනෙක් ලබන්න ඔයාට පුලූවන්.. මන් හිතන්නෙ ඔයාට ලැබිල තියෙන්නෙත් එහෙම කෙනෙක් තමයි.˜


— ..˜


— මං හ`දහන් බලල කියන්නෙ බොරුයි කියල දොස් කියන්න එපා නංගි.. ඔයාගෙ මුරන්ඩු කමට කවදාවත් බදින්න ලැඛෙන එකක් නෑයි කියල මට හිතුන හින්දයි මං එහෙම කිව්වෙ..˜


දෙදෙනාම නිහඩව ඔවුනොවුන් දෙස බලා හුන්හ.යුවතියගේ මුහුනේ විශ්මය දනවන ඇස් දෙකකුත්, රම්‍යාගේ මුහුනේ වරදකාරී හැ`ගීමකින් පීඩා විදින ස්වරූපයේ මුවකුත් ඇදී තිබිනි.

— මං ඔයාට කතන්දරයක් කියන්නද.. ˜ රම්‍යා නිහඩතාව බිදින්නී, අතීතය සාදාරණීකරණය කිරීමේ නොතිත් උවමනාවෙන් පෙළුනාය.


—..˜

— එක වයසක මනුස්සයෙකුගෙන් තරුණයෙක් ඇහුවලූ " ඇයි සීයෙ ඔයා කසාදයක් නොබැන්දෙ කියල..., එත කොට ඒ මනුස්සය බොහොම දුකෙන් උත්තර දුන්නලූ , " පුතේ මං මගෙ ජීවිත කාලෙ පුරාම අංගසම්පූර්ණ ගැහැනියක් හොය හොයා හිටිය කියල..˜

— ..˜

— ඉතින් අර තරුණය හිනාවෙලා කියනවලූ " ඒකනෙ සීයෙ .. මේ ලෝකෙ අංග සම්පූර්ණ ගෑනු නෑ 'යි කියන්නෙ.. මටත් බැලූවොත් මොකක් හරි ඇදයක් පේනවමනෙ.. ඒ කතාව හරි ඇත්තක් නේද" කියල. ඒ ගමන අර වයසක මනුස්සය කොල්ලගෙ මූන දිහා බලල කියනවලූ " නෑ මට හම්බවුනා.. මට එකම එක පාරක් එහෙම කෙනෙක් හම්බවුනා.." කියල.


.. තරුණය පුදුමෙන් ඇහුවලූ " අනේ ඇයි.. ඇයි සීයෙ ඔයා එයාව බැන්දෙ නැත්තෙ " කියල.

— ..˜

— වයසක මනුස්සය කිව්වලූ ," එයා හිටියෙ .. අංගසම්පූර්ණ මිනිහෙක් හොය හොයා " කියල.

— ..˜

— ඔයාට තේරෙනවද නංගි.. ඔයාට තේරෙනවද ඒකෙ තියෙන යටිපෙළ ව්‍යංගය.˜

—හම්˜

—අපේ අඩුපාඩු අපිට පේන්නෑ නංගි, ඒව පේන්නෙ අනිත් අයටයි..අපි අනිත් අයගෙ සම්පූර්ණත්වය බලාපොරොත්තු වෙන්නෙ කොහොමද අපිත් සම්පූර්ණ නැතුව.. මං නං හිතන්නෙ .. අපි කවුරුවත්, මං කියන්නෙ පෘතක්ජනයො.. හැමෝම.. ඒ විතරක් නෙමෙයි .. මේ ජීවී අජීවී හැම දෙයක්ම අඩුපාඩු සහිතයි.. බලන්න දැන් ඔයා හිතනවද මම අංගසම්පූර්ණ ජෝතිෂ්‍ය කාරියක් කියල.. නෑ.. නෑ ඒ විතරක් නෙමෙයි මේ මේසෙ, පුටුව ඔයාට කියන්න පුළුවන්ද මේකතමයි ඉස්තරම්ම කිසිම අඩුපාඩුවක් නැති පුටුව කියල.. බෑ නංගි ,කිව්වත්.. වෙන කෙනෙක් හරි ඒකෙ අඩුපාඩුවක් දකී.. වැදගත් වෙන්නෙ ඒක නෙමෙයි. අපේ අවශ්‍යතාවයට ඒක ප්‍රමාණවත්ද කියන එකයි.. ඉංග්‍රීසියෙන් කියන්නෙ "ගුඩ් ඉනෆ් " කියල. ..˜


මේසය දෙසට නැමී රම්‍යාට කන්දී සිටි යුවතිය එක්වරම මේසයේ වූ තම හ`දහනත් මුදලූත් දෑතින් වසා ගත්තාය. ඉන් පසුව මුදල් ඉතිරි වෙන්නට හැර හ`දහන තමා වෙත ඇදගත්තාය. රම්‍යා ප්‍රශ්නාර්තයෙන් බැලූවාය.

— මට තිබුන හිසරදෙත් ඕක තමයි රම්‍යා.. දැන් හරි.. ආයෙත් මේක බලන්න දෙයක් නෑ..˜

රම්‍යා සිනාසුනාය. මේසය මත වූ මුදල් දැතින් වසාගත් ඈ ඒවාද යුවතිය දෙසට තල්ලූ කළාය. එහෙත් යුවතිය වහා ඈ නැවතුවාය.

—එපා රම්‍යා ඒක තියාගන්න.. ප්ලීස්..˜

— ..˜

— ඔයා හරි .. අපේ අඩුපාඩු පේන්නෙ අනුන්ට. හැබැයි.. රම්‍ය මගෙ මනුස්සය නම් කවදාවත් මගෙ අඩු පාඩු දැක්කෙනෑ.. ඒකත් කොච්චර දෙයක්ද...˜

— හම්˜

— ඔව් රම්‍ය හරි ඔයාගෙ අනාවැකිය හරි..˜

ඇය මහත් සොම්නසින් හිනැහුනාය.

—මට දැනුයි ඒක අදුනගන්න පුළුවන් වුනේ .. අඩුව.. සාමාන්‍ය නිරෝගී වැඩිහිටි පිරිමියෙකුට වගේ එයාට තමන්ගෙ ගෑනිගෙ අඩුපාඩු පේන්නෙ නෑ..˜

ඒ සොම්නසින්ම ඈ යන්නට නැගී සිටියාය. රම්‍යාද නැගිට ඈ පසුපස ගියාය. කාමරයේ දොර පසුකළ යුවතිය නැවතී යලිත් රම්‍යා දෙස බැලූවාය.

—එදා හදහන් බලන්ඩ ආපු දවසෙ මං ඔයාට "තැන්ක්යූ" කියල කිව්වද ?˜

— හඃ මොන තැන්ක්යූ..ද ඔයා තරහෙන් වගේ බිම බලාගෙන යන්න ගියෙ˜

ඇය වහා රම්‍යා දෙසට ලං වූවාය. ඇගේ දෑත ගෙන තම දෑතින්ම අල්ලා ගත්තාය. මිරිකුවාය.

එහෙනං මං දැන් කියන්නං ..˜

ඇගේ නොවැටෙන කදුළු කැට දෑසේ පිරී දිලිසෙයි.

තැන්ක්යූ රම්‍යා, තැන්ක්යූ සෝ මච්˜

ඇය සෙමෙන් පිටවී ගියාය.

රම්‍යා පිටවී යන යුවතිය දෙස නෙත් නෙසලා බලා හුන්නාය. වහා පැන කාමරය හොදින් අස්පස් කරන්නට බෝඩ් ලෑල්ල පිසදමන්නට හොදින් පෙනෙන සේ තබන්නට නොයිවසිල්ලක් ඈගේ සිත තුළ නැගෙයි. ඇගේ දෑස දිගටම ඈතින් නොපෙනී යන නැගෙනිය දෙසම බලා සිටී.

ඈ , ගේ තුලින් ඇසෙන දුරකතන නාදය නැගී, සෑහෙන වේලාවක් පැවතී නිහඩවී යන තෙක්ම සොම්නසින් පිරුණු දෑසින් පාර දෙසම බලා සිටියාය.



Nissanka Rajapaksa

unread,
Sep 13, 2024, 8:28:01 PM9/13/24
to INDRAKA group
16
කෙටි කතාව 

- හර්ෂණී වික්‍රමසිංහ 

"ටිකක් කතා කරන්න පුලුවන්ද..."

මම එලෙස සටහන් කර යැවූ පණිවිඩය හෝරා තුනක් ඉක්ම ගිය තැනද ඔබ කියවා නොමැත..

ම්හ්... 

දිග ම දිග සුසුමක් පිටකර මම ළය බර මුදාගතිමි.

ඇත්තෙන්ම මට ඕනා වුණේ මගෙ හිතට ආපු අලුත් බර..අලුත් ගැටලුව ඔබට පැවසීමට නොවෙයි.

ඔබගෙ කටහඬ ඇසීමට ය.

ඒ හඬ ඇසෙත්ම, පළමුවෙන් ම මට මා අමතකව යයි.. දෙවනුව මගේ ප්‍රශ්නත්.. තෙවනුව මුලු ලෝකයමත්..

එහෙත් ඔබ ඊට අවකාශ නොදෙන සෙයකි..

දින සති වලින් ගණනයට හසු කරගන්නා කාලය .. අපේ ජීවිත වල වැදගත්ම පොදු සාධකය වී ඇත්තේ නොවේද..? ඔබ මට දුන්නේ ඔබ ජිවිතයේ වටිනාම කාලය නොවේද.. ?

මාස කීපයකට පෙර නම් මගේ පණිවිඩයකට ක්ෂණිකව ලැබෙන පිළිතුරු අකුරු මගේ විමතියත් සතුටත් එකවර දැල්වූ සැටි මතකය.. එහෙත් අද මා එවැන්නක් ඔබගෙන් බලාපොරොත්තු නොවෙමි..

සයුරේ නිදහසේ පිහිනමින් උන් මාලුවෙක් ඔබ පරිස්සමට වීදුරු රාමුවක් තුළ සීමිත ජල නියැදියකට දමා ඇත.. ඔබ එතුළින් බලාපොරොත්තු වන්නේ, අසීමිත සයුරේ මෙන්ම සීමිත ජල පෘෂ්ටයක පවා මා වෑයමින් ජීවිතය රඳවා ගත යුතු ආකාරය ඉගැන්වීම වන්නට පුලුවන.

ඔව්.. ඔබ මගේ වෛද්‍යවරයා ය.. මා ඔබගේ රෝගියෙක් පමණි.

ඉතිං,
රෝගියා පිළිබඳ සෑම සියුම් කාරණයක් ම තම ග්‍රහණයට නතු කර ගැනීමට වෙදැදුරකුට අයිතිය ඇත. දැන් ඔබ මා හඳුනනු ඇතැයි මා පූර්ණ වෂයෙන් විශ්වාස කරමි. ඔබ නියම කළ ඔසු .. නියමිත මාත්‍රාවෙන් ගැනීම මා සතු වගකීමත් යුතුකමත් වන්නේය..
මා සුව වූ පසු, තවත් එක්‍ රෝගියෙකු ඔබගේ කාලය හා ඥානය දන්දීමෙන් බේරාගැනීමට හැකි වූ නිරාමිස සුවය ඔබ විඳිනු ඇත..

හඬ නොනගන නිහඬ බව තුළ මා නොකී සැම මිහිදන්ව යනු ඇත..

"කලබලයි නම් පොතක් කියවන්න.
හොඳ හුස්මක් ගන්න.
පරිසරයේ ටිකක් ඇවිදින්න.
නිහඬව ඉන්න බලන්න.. ම්ම්ම් "

මා සංසුන් නොමැතිම විටක ඔබ ඔවැනි පණිවිඩයකින් මා නිවනු ඇත.

සුදු අරලිය මල් පොකුරක් නහයට ළංකර ගනිමින්, බෙහෙත් සුවඳ ට වඩා සෑම අතින්ම සැනසිලිදායක සුවයක් සොයන පුංචි දරුවෙක් මෙන් මම ඔබ දුටු පළමු දිනය තවමත් මතකය..

වාට්ටු කොරිඩෝව අවසන් වන ප්‍රපාතාකාර සිමෙන්ති බැම්ම මත ට වාරු දී වෙද නලාවෙන් අසන අන්සතු හදවත් වල ගැස්ම .. නුඹ නිවාඩු පාඩුවේ සංසන්දනය කළේ බොහෝ නිස්කලංක සවස්වරු වලය.

ඒ දිවා ආහාරයෙන් පසු රෝගීන්ට ලබා දෙන බෙහෙත් මාත්‍රාවෙන්, බහුතරයක් සයනමත නිද්‍රාශීලිව ඉන්නා නිහඬ වෙලාවකය..

" ඩොක්ටර්..! මේ සප්සරා. සතියකට කලින් නුවරින් ට්‍රාන්සර් ආවෙ.."

 ඇඳ ඉහත්තාවේ සටහන් ව තුබූ අංකය සිහින් ඇස් වලින් දෙවතාවක් කියවා ගැනීමට හැරීමෙන් පසු තරුණ හෙදිය .. මා හඳුන්වා දුන්නේ එලෙසය.. එදා ඔබ මා දෙස වරක් දෙවරක් බැලුවා විනා මගේ වෛද්‍ය වාර්තා තුළම ගිලී උන්හැටි මතකය.

දෙවන දිනයේ ඔබ නොසිතුව වෙලේක වාට්ටුවට කඩාපාත් වන විට මට දුරකතනය සඟවාගැනීමේ අසාර්ථක තැත වැරදී ගිය හැටි මතකය..

" අර පුස්තකාලෙ පොත් තියෙන්නෙ කියවන්න .. ඊළඟ පාර අතේ පොතක් තියෙන් ඉන්නෝනි හොඳද..?"

ඔබ මගේ ඇඳ අසලින් යමින් ගමන් කියවාගෙන ගියේ ය..

අනේ දෙය්යනේ..! 
බොක්ක රත් වුණා බනියි කියලා.. අවවාදයත් ඉල්ලීමත් කෙළිලොල් කමත් ගැබ්වූ ස්වරයකින් ඔබ මා සලිත කළේය.

"සප්සරා .. ලියනවා ඩොක්ටර්.. කලින් පත්තරේටත් දිගටම ලියලා තියෙනවා.."

මා පිළිබඳ ප්‍රශංසාවක් හෝ අතිශයෝක්තියක් අසන්නට සූදානම්ව නොසිටි මොහොතක හෙදියගේ විස්තරයෙන් මා ලැජ්ජාවෙන් රතු වන්නට ඇත.. ඒ ඔබ අභියසය.

"ආ..හ්.. කොච්චර හොඳද.. දැනුත් ලියනවද..?"

මගේ හදගැස්මේ රටාව අසාමාන්‍ය විලස උද්වේගයට පත්කර, අමූලික බොරු සංඛ්‍යාතයක් රෝග විනිශ්චය කාඩ්පතෙහි කුරුටු ගාමින් ඔබ විමසීය.

"Fb ලියනවා .. ඉඳහිට.."

 මම වියළී ගිය දෙතොලින් අමාරුවෙන් වචන දෙකක් එළියට දමා ගත්තෙමි.

"විශාකා කියවනවා ද සප්සරාගෙ කතන්දර..?"

"ඔව්.. ඩොක්ටර්.. මං ඩොක්ටර්ට ලින්ක් එක එවන්නම්කො.."

කෙටි කතාව නවකතාවක් කරන්න කරුණු ටිකක් එකතු වෙන්නේ එදායින් පසුවය.. මගේ මැසෙන්ජරය තරුණ වෛද්‍යවරයාගේ පණිවිඩ වලින් පිරුණි.. ඇතැම් දිනවල මා කියවිය යුතු යැයි හැඟෙන දහම් පොත් වලින් වාට්ටුවේ පුස්තකාලය පුරවන ඔහු මගේ රෝගයට ප්‍රතිකාර ඇත්තේ ඖෂධ වල පමණක් ම නොවන වගට සඵත කළේය..

මරණයට දින ගනිමින් උන් මවෙත අපේක්ෂාවේ සයනයක් මත.. අපේක්ෂා ඇති කරලීමට සමත් සිහින ඔහු ගෙන ආයේය..

"සප්සරා.. පොතක් ලියන්න.."

දවසක් දා ඔබ කීවේය..

"මට බෑ ඩොක්ටර්.. පොතක් ලියන්න තරම් දිග කාලයක් නෑ නේද මට. අනික දිග කතාවක් ලියන්න තරම් ආත්ම විශ්වාසයකුත්.."

"අපි කවුරුත් දවසක මැරෙනවා ළමයො. කැමති නැද්ද ඉතිං මැරුණට පස්සෙත් හිත් වල ජීවත් වෙන කෙනෙක් වෙන්න.."

ප්‍රතික්ෂේප කිරීම් රැසක් මැද කඩදාසි හා පෑන් ගෙනවිත් දී ඔබ කතාවට මූලාරම්භයක් දුන්නේය.. බුදුන් වඳින අරලිය මලක් ගානෙ මං ඒ උපකාර වලට පින් දුන්නෙමි..

දින සති වේගයෙන් දුවමින් දින කැලැන්ඩර් හලමින් උන්නේය. එක්තරා උදැසනක නර්ස් විශාකා මට ඒ පුවත කීවාය..

"සප්සරා .. ඩොක්ටර් ට්‍රාන්සර් යනවා.. ඔයාට පුලුවන් ද නිසඳැසක් හදලා දෙන්න අපිට.."

මා එය ලීවෙමි. බොඳ වූ කඩදාසි කිහිපයක් නාස්ති කිරීම් අවසානයේ මා එය ලියා දුන්නෙමි.. ඉතිං ඔබ සමුගෙන ගියේය. මා පිළිබඳ කිසිදු විශේෂයක් නොමැතිව පිටව ගියේය.. යලිත් බෙහෙත් සුවඳ බෙහෙත් සුවඳ විදියටම විඳගන්න නහය හුරුවිය.
රෝහල් කොරිඩෝව ඔබ නොමැති කමින් හිස් වී පාලුවී ගියේය. 

වාට්ටුවේ කාර්‍ය මණ්ඩලය සතියක් දෙකක් ඇවෑමෙන් ඔබව මුලුමනින්ම අමතක කර නව වෛද්‍යවරිය වෙත හැඩ ගැසුණු බව දුටුවෙමි. පුස්තකාලයේ ඔබ තැබූ පොත් මම තුන්වෙනි වතාවටත් කියවා හමාර කළෙමි.. වෙනදා මෙන් ඔබගෙන් පණිවිඩ ඇමතුම් සුලබ නොවූ දුරකතනය මට රිදුමක් ම ගෙන ආයේය.. නොඑසේ නම් ඔබ මා නොසලකා හරින බව දැනවීමෙන් රිදෙන විට.. මා රිදවාගන්නා බව ඔබට දැනේවියැයි මා බියවුණෙමි.

ඔබ නවකතාවක් කළ කෙටි කතාව දැනුදු ලියවෙමින් ඇත. සැබෑ ආදරයක පැවැත්ම ඇත්තේ දිනපතා නඩත්තු කෙරෙන් ආදරණීය සංවාදයක හෝ භෞතික ස්පර්ෂයක නොවන වග ඔබ සහතික කර අවසන්‍ ය..

--------------------------------------------

"මේ..අපේ ඩොක්ටර්ගෙ ෆ්‍රොපයිල් එක ම තමයි අනේ ඒ.."

"ජෝක් එකක්වත් ද..?"

"පිස්සුද අනේ..
සමන්ත .. ගන්න ඩොක්ටර් ට කෝල් එකක්"

"ම්හු... නම්බර් එක ඇක්ටිව් නෑ කියනවා.."

වාට්ටුව තුළ කාර්‍යබහුල එක් උදෑසනක හෙදියන් හා කාර්‍ය මණ්ඩලයේ කිහිප දෙනෙක්ගේ වට මේස සාකච්චාව මගේ ඔලුව එකම ගාලගෝට්ටියක් කළේ ඔබගේ නම ඒ කෙළවරක අහම්බෙන් කණ වැකීමෙනි..

තිසරු ඉමල්ක.. ඒ එයා තමයි. මම කොට්ටය යටට අත දමා දුරකතනය ගත්තත් වෙව්ලන ඇඟිලි තුඩු අපේක්ෂිත කාර්‍යයට තවත් බාධාවක්ම වූයේය.

ඔබගේ ෆොපයිලය ..

දුරකතනය තවදුරටත් මට අවැසි නොවන වග ඒකාන්තයෙන් ම හැඟුනි. ඔබ ගේ ගමන සුබම වේවා. මම ඉත සිතින් ම පැතුවෙමි.

ඉතිං,
මැරෙන්න ඉන්න ස්ත්‍රියක් විදියට 
අපවත් වෙන්න ඉන්න සත්පුරුෂයෙක් ට ඒ අමා මහ නිවන් සුවයම පතා සැනසෙන්න මට පුලුවන්...

"සප්සරාගෙ පොතට හොඳ අවසානයක් ඒක"

ඔබ දිනෙක, කසාවතින් ම බබළමින් මට කියන අයුරු, ඇස් පියාගත් සැනින් මැවී පෙණින.


Nissanka Rajapaksa

unread,
Sep 14, 2024, 9:14:47 PM9/14/24
to INDRAKA group
17
තරණී 

- පවිත්‍රා අභයවර්ධන

වියපත් මහාචාර්යවරයා තිරයෙන් ඉවත බලා දෑස පිසදමා ගත්තේය. වසර ගෙවෙත්ම කුඩා දෙයටත් භාවාතිෂය වීමද දෑසින් කඳුළු ගැලීමද නිතැතින්ම සිදුවේ. එසේ නැතත්, තම පුතා ලෝකයක් දන්නා සම්මානයක් ලබා ලොව පුරා විද්‍යාර්ථීන්ගේ කතාබහට ලක්වන කෙනෙකු වීම දැක සතුටු කඳුළු නොසලන පියෙකු සිටීද?

“අසනීප නැත්නම් අපේ සර්ටත් යන්න තිබුණා” මහාචාර්ය පද්බේරිය කියනා තැනකට රෝද පුටුව කරකැවීම පිණිස ආසන්නයේම රැ‌දෙන සමන්ත කීවේය. 
“කළිඳු සර් කොච්චර එක්ක යන්න හැදුවද?”

විද්‍යාව සඳහා 2023 වසර වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය පිළිගැනීමට කළිඳුත් සමදරාත් ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරට ගියේ පසුගිය සතියේය. “කාල තරණය” වෙනුවෙන් කළ සාර්ථක පර්යේෂණ වෙනුවෙන් ඔවුන් මෙවර‌ මේ ලෝ ප්‍රකට සම්මානය සඳහා තේරී පත්වූයේ දකුණු ආසියානු කලාපයේ මෙන්ම ලෝකයේ අනෙත් රටවලින් ලැබෙන බොහෝ සම්මාන වලට පාත්‍ර වීමෙන් අනතුරුවය. 

තම එකම පුත්‍රයාත් ලේලියත් නොබෙල් සම්මානලාභී පළමු ලාංකිකයන් වීමටද මෙතෙක් කාලයකට නොබෙල් සම්මානය ලැබූ සත්වන අඹසැමි යුවළ බවට පත්වීම මෙන්ම මේ වෙනුවෙන් උදම් වීමට තවත් කරුණක් මහාචාර්ය පද්බේරියට‌ තිබේ. ඔවුන් කළ කාල තරණ පර්යේෂණ ඔහුගේ විෂයයයි. 

සම්මානය ලැබීමෙන් පසු කළ කතාවේදී කළිඳුද සඳහන් කළ පරිදි ඔහුත් සමදරාත් පර්යේෂණ කණ්ඩායමත් කළේ පියා හෙළි කළ මාර්ගයේ ඔහුගේ ගුරුහරුකම් ලබමින් ගමන් කිරීමය.

ඈත අතීතයේ පටන් ඉතා ආකර්ෂණීය මෙන්ම ආන්දෝලනාත්මක මාතෘකාවක් වූ කාල තරණය දැන් සැබෑවක් වී ඇත්තේ ඔහුගේ සංකල්ප තුළින් පර්යේෂණ කිරීමෙනි. එයින් ලොවට සිදුවිය හැකි බලපෑම හේතුවෙන් එය විවිධ සංවිධාන හා ආයතනවල දැඩි නියාමනයන් යටතේ ක්‍රියාත්මක විය යුතු බව ඔවුන්ට දැනටමත් දැනුම් දී ඇති අතර කළිඳුත් සමදරාත් ලෝ ප්‍රකට විද්‍යාඥයන් හා දේශපාලන කමිටු හා එක්ව අවශ්‍ය කටයුතු වල නිරත බව ඔහු දනී.

“කාල තරණය කියන්නේ ඉතාම ආකර්ෂණීය මෙන්ම ඉතාම භයානක අවියක්. අනිසි ලෙස භාවිතා කළොත් පරමාණු බෝම්බය‌ට වඩා හානියක් ලෝකයට වෙන්න පුලුවන් බව අපිට ස්ථීර වශයෙන් කියන්න පුලුවන්. බොහෝ අය අපෙන් අහන දෙයක් තමයි අපිට බැරිද අතීතයට ගිහින් ලෝක යුද්ධ වලට පාදක වුණු සිදුවීම් වෙනස් කරන්න, වසංගත කාලවල ඒවට අවශ්‍ය ඖෂධ වර්තමානයෙන් අනාගතයට යවන්න. නමුත් අපි තේරුම් ගත යුතුයි යුද්ධයක් වගේ තත්වයක් ඇති වෙන්න සුළු හා විශාල කරුණු රාශියක් අවුරුදු ගණනාවක් පුරා එකතු විය යුතු බව. අන්තිම ගිනි පුපුර අපිට නිවන්න පුලුවන් වුණත් සුළු ගින්නකින් පවා ඇවිලෙන පරිදි සකස් වෙලා තියෙන ඒ පරිසරය අපිට වෙනස් කරන්න පහසු නෑ. ඒ වගේම වසංගත තත්වයකදී ශක්තිවන්තයන් ඉතිරි වීම වගේම රෝගය පාලනය වෙනුවෙන් විද්‍යාඥයන් දැඩි උනන්දුවෙන් කටයුතු කිරීම නිසා විද්‍යාව සොෟඛ්‍ය වගේ ක්ෂේත්‍ර දශක ගණනාවක් ඉදිරියට පිම්මක් පනින්න පුලුවන්. අපේ මැදිහත්වීමෙන් ඒක සම්පූර්යෙන් ඇණ හිටින්න ඉඩ තිබෙනවා. කාලය කියන්නේ ඉතා කුඩා සිද්ධි රාශියක්. එක් කුඩා සිද්ධියක් වෙනස් කිරීම නොගිණිය හැකි වෙනසක් ඇති කිරීම මෙන්ම විශාල ව්‍යසනයකටත් මඟ පාදන්න පුලුවන්”

මහාචාර්යවරයා සම්මානය අතැතිව කළිඳු කරන කතාව දෙස බලා සිටියේය. ඔහු පසෙකින් සමදරා ශාන්තව බලා සිටී. අද සිට බොහෝ ලාංකික දැරියන් මෙන්ම ලෝකය පුරා දැරියන් තම අභිලාෂය “සමදරා පද්බේරිය” වැනි විද්‍යාඥවරියන් වීම කරගනු ඇති බව ඔහු සිතුවේය. 

ඔහුගේ සිත දිවගියේ විසි වසරක අතීතයටය. 

සමදරා පද්බේරිය පළමු වසර සිසුවියකව සිටි විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ පීඨාධිපති ලෙස ඔහු කටයුතු කරන කාලයටය.

------------------------
1998-05-10 පළමු ප්‍රවාහය

පීඨාධිපතිතුමාගේ පණිවිඩය අනුව පැමිණි සමදරා කාර්යාලයට ඇතුළු වූයේ මඳ පැකිළීමෙනි. කුඩා කළ සිටි විදුසරෙන් ඔහුගේ කාල තරණ පර්යේෂණ ගැන කියවා ඇති බැවින් ඔහු හමුවීම ඇගේ කුඩා කළ සිට මැවූ සිහිනයක් සැබෑ වීමකි. 

නමුත් පළමු වසර ශිෂ්‍යාවක වන තමාට එන්නට කියන්නට පීඨාධිපතිවරයාට ඇති හේතුව කුමක්දැයි ඇයට සිතාගන්නට බැරිය. 

“එන්න සමදරා” 

පීඨාධිපති තුමා කැඳවා තිබුණේ තමන් පළමු වසර අවසානයේ විශේෂ උපාධිය හැදෑරීමට ඉල්ලුම් නොකළේ ඇයිද යන්න විමසීමටය. ඔහු හා විනාඩි ගණනාවක් කළ කතාවේදී තමාට මුලින් තිබූ චකිතයද පැකිළීමද නොමැති වූ බැවින් සමදරා විවෘතව කතා කළාය.

“මම හරි සරලව ජීවත් වෙන්න කැමති කෙනෙක් සර්. මම වැඩිය කලබල ජීවිතේකට කැමති නෑ. මම කැම්පස් ආවෙත් අපේ අප්පච්චි නිසා. අප්පච්චි පොඩි කාලෙ ‌ඉගෙන ගන්න හරිම දක්ෂ උනත් හදිසියේ අපේ සීයා නැතිවුණ නිසා අප්පච්චිට ඉගෙනීම නවත්තලා රස්සාවකට යන්න වෙලා තියෙනවා නංගිලා මල්ලිලාට උගන්නන්න. බාප්පලා දෙන්න ඩොක්ටර්ස්ලා, නැන්දා ලෝයර් කෙනෙක්. අප්පච්චි තාම ඉගෙනීම මඟ නතර උන එක ගැන දුක්වෙනවා. මං කැම්පස් ආවෙ අප්පච්චිගෙ හීනෙ හැබෑ කරන්න. මම බඳින්න ඉන්නේ අපේ ගමේ අයියා කෙනෙක්. එයාට පැළ තවානක් තියෙනවා ටිකක් ලොකුවට කරන. මම අවුට් වෙලා එයත් එක්ක ඒක කරගෙන යන්නයි හිතාගෙන ඉන්නේ. ඒකයි ස්පෙෂල් කරන්න දැම්මේ නැත්තේ”

“සමදරා දරුවෝ ඔයා දන්නවද ඔයා මම මෙතෙක් වැඩ කරපු ළමයි අතරේ බුද්ධිමත්ම ළමයෙක් කියලා. කළිඳු ඇරුණාම සෑහෙන කාලෙකට මට ඔයා වගේ තියුණු මොළයක් තියෙන, එක දිගට අවධානය යොමු කරලා වැඩ කරන කෙනෙක් හම්බ වෙලා නෑ. කළිඳු මගේ පුතා නිසා මම එයාව පොඩි කාලෙ ඉඳන් හදපු විදියක් තියෙනවා. අවශ්‍ය පුහුණුවීම්, පොත් පත්, එයාට මුණු ගැස්සුව චරිත ඔක්කොම එයාව හැඩගස්සුව. මට පුදුම එහෙම කිසිම දෙයක් නැතිව, ඈත ගමක බොහොම නිදහසේ හැදිච්ච ඔයාට ඒ වගේම මොළයක් තියෙන එක. අනිත් අතට කළිඳු වගේ එක දිශාවකට යොමු නොවිච්ච නිසා ඔයාගේ අදහස් ඊට වඩා බොහොම නිර්මාණශීලීයි. ඔයා ස්පේෂල් නොකර ඉන්නඑක වගේම ඔය අසාමාන්‍ය මොළෙන් වැඩක් නොගන්න එක මම හිතන්නේ ඔයාට වගේම රටටත් විද්‍යා ක්ෂේත්‍රයටත් කරන අපරාධයක් කියලා. මම ඇත්තටම ප්ලෑන් කරගෙන හිටියේ මගේ රිසර්ච් ග්රූප් එකට සමදරාටත් එකතු වෙන්න කියන්න.”

“මම වැඩිය සෙනඟ අතරේ ගැවසෙන්න කැමති නෑ සර්. මම කැමති බොහොම සාමකාමී ජීවිතේකට”

“අපිට කැමති දේවල්ම ජීවිතේ කරන්න ලැබෙන්නේ නෑ සමදරා. මමත් පොඩි කාලෙ හිතාගෙන හිටියේ හොද ගිටාරිස්ට් කෙනෙක් වෙන්න. ඒත් මේ මාර්ගයේ ආපු නිසා සෑහෙන පිරිසකටත් රටටත් ඊට වඩා ලොකු සේවයක් කරන්න පුලුවන් උනා කියල මම දැන් සතුටු වෙනවා. ඔයා වගේ කෙනෙක් ඈත ගමක සාමාන්‍ය ජීවිතයක් ගෙවනවා කියන්නෙ අපේ රටටත් කරන පාඩුවක්. ඔයා තමන්ගේ දක්ෂතාවය පාවිච්චි කරලා ලෝකෙ තැනකට එන එකෙන් වෙනස් වෙන්නේ ඔයාගේ ජීවිතේ විතරක් නෙවෙයි. තව ඔයා ආදර්ශයට ගන්න කී දෙනෙක්ගේ ජීවිත වෙනස් වෙයිද? ඔයා කරන සාර්ථක පරීක්ෂණයකින් ලෝකෙ ලොකු පිම්මක් ඉස්සරයට යන්න පුලුවන්.”

“සර්, සුමල්, මම බඳින්න ඉන්න කෙනා හරිම හොඳයි. මම ඉගෙන ගන්න එකට විරුද්ධ නැහැ. මට අවුට් වෙලා රිසර්ච් කරන්න ඕන කිව්වොත් එයා ඒකට බාධා කරන එකක් නෑ. මට රස්සාවක් කරන්න තරම් ආර්ථික ගැටළුවක් අපිට නැති නිසයි මමත් පැළ තවානට එකතු වෙන්න ඉන්නේ. ”

“ඒක ඇත්ත සමදරා, ඒත් ඔයා ඉන්නේ ලංකා‌වෙ. ලංකාවෙ ගමක ඉන්න කොයි මනුස්සයද කැමති තමන්ගේ භාර්යාව මුළු දවස තිස්සෙම ලැබ් එකක ඉන්නවට. මුලින් ප්‍රශ්නයක් නොවුණත් රටේ ලෝකෙ අනිත් සාමාන්‍ය පවුල් දකිද්දි ඒ මනුස්සයාටත් එපා වෙන්න පුලුවන්. කළිඳු ඔයාට බොහොම කැමැතියි සමදරා. මම බලපෑම් කරනවා නෙවෙයි. නමුත් ඔය දෙන්නට ලෝකෙ නමක් තියන්න පුලුවන්. සයන්ස් කරන ළමයි දහස් ගාණක් මම වැඩ කරලා තියෙනවා. නමුත් ඔය දෙන්නා වගේ සුපිරි දෙන්නෙක් මට හම්බවෙලා නෑ. මගේ ටීම් එකට එකතු වෙන්න එක්ක සමදරා. ඔයාගෙ අප්පච්චි කොච්චර සතුටු වෙයිද? හෙල්ලෙන දත වගේ තියෙන මේ රටට ලැබෙන ගෞරවය ගැන හිතන්න. දවසක ඔයා හින්ද මොන දුක හරි විඳගෙන ඉගෙනගන්න හිතන අපේ රටේ දුප්පත් ළමයි ගැන හිතන්න.”

එදින පැය දෙකක් පුරා මහාචාර්ය පද්බේරිය සමදරා හා කතා කළේය. ආතරයිටිස් රෝගය නිසා ඔහුට දැන් වැඩි වේලාවක් හිටගෙන හෝ වාඩිවී සිටීමට නොහැකිය. සන්ධිවල ඇති දැඩි වේදනාව නිසා පැය ගණනක් අවධානයෙන් 
පර්යේෂණාගාරයේ කල් ගෙවීම පහසු නැත. ඔහුට ඉතා ඉක්මනින් සුදුසු කිහිප දෙනෙකුට පර්යේෂණ ඉදිරියට කරගෙන යාමට භාර දිය යුතුය. 

“සර්, මට ටිකක් කල් දෙන්න. මම හිතලා උත්තරයක් දෙන්නම්” එදා සමදරා ඔහුගෙන් සමුගත්තේ එසේ කියමිනි. 

තමන් සාමාන්‍යයෙන් කෙනෙකුව තමන්ගේ මතයට නම්මා ගැනීමට සමත් බව වික්ටර් පත්බේරිය දැන සිටියත් මේ තරුණිය කුමක් කරයිදැයි ඔහු සිටියේ අවිශ්වාසයෙනි.

නමුත් ඇය දින කිහිපයකට පසු ඔහු හමුවන්නට ආවාය. ඇගේ ඇස් යට අඳුරු වී, වෙහෙස කර ගතියක් මුහුණේ තිබුණද දෑස පෙර දිනට වඩා දීප්තිමත් බව ඔහුගේ තීක්ෂණ දෑසට පෙණිනි.

“සර්, මම කැමතියි සර්ගෙ ටීම් එකට එකතු වෙලා වැඩ කරන්න. මම මේ දවස් ටිකේම සර්ගෙ පේපර්ස් කියෙව්වා. ටීම් එකේ අයගේ තීසිස් කියෙව්වා. මම හිතනවා අපිට තව පැති කීපයකින් උත්සාහ කරන්න පුලුවන් කියලා. මං හිතන්නේ සර්ගේ සංකල්ප හරියටම හරි. අපිට කාලය දිගේ ආපස්සට යන එක කරන්න අමාරු වෙන්න බැහැ.”

“බොහොම ස්තුතියි සමදරා. මගේ ටීම් එක මගේ පවුල වගේ තමයි. මගේ පවුලට බොහොම ගෞරවයෙන් පිළිගන්නවා.”

“හැබැයි සර්, මට එක දෙයක් අවශ්‍යයි. මම සුමල්ට කතා කරනවා. ඇත්ත කිව්වොත් එයා මට අයින් වෙන්න ඉඩ දෙන්නෙ නෑ. අපි ගැළපෙන්නේ නෑ කියල මම අයින් වෙනවා. හැබැයි අපේ රිසර්ච් එක සාර්ථක වෙලා ආපස්සට යන්න ලැබුණොත් මම ආපහු යනවා”
---------------------
2023-07-26 පළමු ප්‍රවාහය

සති කිහිපයක් ලෝකයේ විවිධ රටවල, විවිධ කාල පරාසයන්හි පැවති රැස්වීම්, දේශනා ආදියට සහභාගී වී මනසටද සිරුරටද දැනෙන වෙහෙස නිවෙන තුරු නිදාගත් කළිඳු පද්බේරිය පහත මාලයට ආවේ අක්කර පහක වන පෙතක් මැද 
ඉදිවුණු තම නිවසේ නිහඬතාවයද නිස්කලංකයද සිත්සේ විඳ ගනිමිනි. ලබන සතියේ සිට නැවත රැස්වීම් හා සමුළු වලට සහභාගී වීම ඇරඹිය යුතුය. 

කෑම කාමරයේ මේසය අසල හොඳින් හැඳ පැළඳ සිටින සමදරා දුටු ඔහු පුදුමයට පත්විය. තමන් ගිය බොහෝ තැන්වලදී කාන්තාවන්ට හා සිසුවියන්ට වි‌ශේෂ දේශන සැළසුම් කර තිබූ බැවින් සමදරා තමන්ටද වඩා වෙහෙසට පත්වූ බව ඔහු දැන සිටියේය. ඔහු සිතා සිටියේ අද ඇය දහවල් වන තුරු නිදාගනු ඇති බවය.

“මම හිතුවෙ ඔයා තව ටිකක් විවේකෙන් ඉඳී කියලා”

“දැන් මගේ වැඩ ඉවරනේ කළිඳු. රට වෙනුවෙන්, විද්‍යාව වෙනුවෙන් මං මගේ කොටස කළා. දැන් පටන් අරන් තියෙන කලබල ජීවිතේ මට හරිම වෙහෙසයි. මං තාත්තටයි ඔයාටයි කිව්ව විදිහට දැන් මම මට අවශ්‍ය ජීවිතේට යන්න ඕන.”

“ඇයි සමදරා. මේ අවුරුදු ගාණක් මහන්සි වෙලා, අන්තිමට ප්‍රතිඵල ලැබුණ ගමන්, ඒවගේ සතුටවත් හරියට විඳින්නේ නැතුව. අනික මම හිතුවේ නෑ ඔයා තාමත් ඒක හිතාගෙන ඉන්න බව.”

“මම හැමදාම හිතාගෙන හිටියේ එහෙම තමයි කළිඳු. මම නොනවත්වා වැඩ කළේම මගේ කොටස ඉක්මනින් ඉවර කරලා ආපහු යන අරමුණෙන්. හැබැයි මම හිතුවට වඩා ගොඩක් කල් ගියා. අපි ඇත්තටම හොඳ ටීම් එකක් විදියට වැඩ කළා. ඒත් මගේ ජිවිතේ තියෙන්නේ එතන නෙවෙයි.”

“හරි ඔයාට යන්න ඕන මොන දවසටද? මම ඔක්කොම ලෑස්ති කරන්නම්. මට දවස් දෙකක් දෙන්න.”

“මට එක්දාස් නවසිය අනූ අටේ, ජූනි විසි දෙවනිදාට යන්න දෙන්න කළිඳු. විල්ගමුව හන්දියට, උදේ දහය හමාරට”

“ඇයි එදාම?”

“මම සුමල් ගෙන් අයින් වෙන බව කිව්වේ ඊ‌ට කළින් දවසේ” 

“ඉතින් ඒක කියන්න කළින් යන්න සමදරා. නිකම් ඒ මනුස්සයගෙ හිතේ අවුලක් ඇති කරලා ආයෙම ප්‍රශ්නයක් වෙන්න පුලුවන්නේ”

“සුමල් එහෙම නෑ කළිඳු. අනික මගේ අගේ වැඩිපුරම දැනෙන දවස නේ ඔය දවස”
----------------
2023-07-29 පළමු ප්‍රවාහය

පර්යේෂණගාරයට ඇතුළු වීමට පෙර සමදරා මොහොතක් කළිඳු දෙස බලා හිඳ ඔහුව තරයේ වැළඳගත්තාය.

“මට ඔයාව සෑහෙන්න මිස් වෙයි සමා. අනික ඔයා යනවා කියන්නේ හැම දේම වෙනස් වෙනවා කියන එක ඔයා දන්නවා නේද? ඔයා මහන්සි උන මේ කිසි දෙයක් නැති ප්‍රවාහයකට ඔයා යන්නේ”

“මං අපේ රිසර්ච් කන්ක්ලූෂන්ස් දන්නවානේ කළිඳු. කාල ප්‍රවාහය ගඟක් වගේ. පොඩි හැරවීමක් කළොත් ඒ ගඟ ගමන් කරන්නෙයි මුහුද‌ට වැටෙන්නේයි සම්පූර්ණයෙන් වෙනස් විදිහට.”

“එහෙම නම් සතුටින් ඉන්න සමා. මේක අරන් යන්න. අඩුම ගානෙ මෙහෙම දෙයක් තිබුණා කියලා ඔයාට මේක බලද්දිවත් මතක් වෙයි. නැත්නම් මේ කිසි දෙයක් නිකම් එක පාර මතක් වෙන ක්ෂණ විදිහට මිස ඔයාට මතක තියෙන්න විදිහක් නෑ.”

ඔහු අත තැබුවේ ලංකාවේ ප්‍රකට පුවත්පතක මුල් පිටුව බව ඇය දුටුවාය.

“කාල තරණ පර්යේෂණය වෙනුවෙන් නොබෙල් තෑග්ග ලාංකික විද්‍යාඥ යුවළට” සිරස්තලයට යටින් ඔවුන් දෙදෙනා සම්මානය අතැතිව ස්ටොක්හෝම් නුවර වේදිකාවේ සිටින ඡායාරූපය ඇත.

“හරි කළිඳු. තාත්තාගේ බෙහෙත්, ටෙස්ට් වෙලාවට කරන්න. මම යන්නම්”

----------------------
1998-06-22 දෙවන ප්‍රවාහය

“මොකද දොර වහගෙන පුතා, අන්න අර ළමයත් ඇවිත්”

ඇ‌‌දෙන් නැගිටීමට පවා සිතක් නැතිව කල්පනාවේ ගැලී සිටි සුමල් නව පණක් ලැබුවාක් මෙන් වහා නැගිට සිටියේය.

“සමදරා?”

“වෙන කවුද?”

ඔහු වහා කමිසයක් වතට දමමින් ඉස්තෝප්පුවට ගියේය. පෙරදා හමුවී තමන්ට වෙන් වන්නට අවශ්‍ය බව කියා ඔහුගේ හදවත බිඳ දැමූ ඇය දැන් සන්සුන් සිනහවකින් ඔහු දෙස බලා සිටී.

“සමා?”

“මං ආපහු ආව සුමල් අයියෙ.”

-----------------------------
2023-07-01 දෙවන ප්‍රවාහය

“සමදරා, අර පෙරේරා ටීචර්ගේ පුතාගෙ ගෙට ගෙවදීමට ඇට්ටේරියා පැළ තුනයි, කොහොඹ පැලේකුයි ලෑස්ති කරලා තියන්න. මං මේ කට්ටිය දහම් පාසල් දාලා 
ඇවිත් ගිහින් දෙන්නම්.”

“අනේ අප්පච්චි, අදට මං නොගිහින් ඉන්නම්කො. මට නොබෙල් තෑග්ග දෙනවා බලන්න ඕන. ඒක යන්නේ දහයට.”

“ඇවිල්ල බලන්න ළමයො. ඕක මේ ටිකේම නිව්ස් වලට පෙන්නයි.”

“අනේ බෑ අප්පච්චි. මල්ලිලා එක්ක යන්නකො අදට. මං ඉන්නවා.”

“මොකද්ද දෝණි. මේ ටිකේම ඔය පත්තර කොළ කපාගෙන පොත්වල අලවගෙන පුදුම නොබෙල් පිස්සුවක්නෙ මේ ළමයට හැදිල තියෙන්නේ”

“අප්පච්චි බලන්නකො. කළිඳු පත්බේරිය සර් නොබෙල් තෑග්ග ගත්තු පළවෙනි ලාංකිකයනෙ. මං කවදහරි නොබෙල් තෑග්ග ගත්තු පළවෙනි ලාංකික කාන්තාව වෙනවා.”

“දෝණිට පුලුවන්. අම්මා මේ ගෙදරට වෙලා අපිට උය උයා හිටියට අම්මත් ඩිග්‍රි එක ඉවර කරලා ඒ පැත්තෙන් ඉස්සරහට ගියානම් කොහේ නවතීයිද දන්නෙ නෑ. අම්මගෙ මොළේ දෝණිටත් තියෙනවනේ. ඔය ඩොක්ටර් කළිඳු හිටියෙත් අම්මගේ බැච් එකේ තමයි”

දරු තිදෙනාට දහම් පාසල් යාමට මල් වට්ටි තුනක් සකසමින් සිටි සමදරා ඔහු දෙස බලා සිනහසුණාය.

පළමු වසරෙන් පසුව සරසවියෙන් පිටවී අවුත් සුමල් හා විවාහ වූ බැවින් ඒ උගත් දේ පවා ඇයට මතකයට නඟා ගන්නට අසීරුය. ඇයට උගැන්වූ ආචර්යවරුන්ගේ නම් පවා මතක ඇය “අතට ලැබුණු වාසනාවට පයින් ගසා සරසවි ගමන නැවතූ බවට” තවමත් දොස් නඟන අප්පච්චිට පමණි.

තමා සරසවියේ සිටින විට සිටි පීඨාධිපතිවරයාගේ පුතා වූ කළිඳු එකල තමන් ගැන උනන්දුවෙන් සිටි බව සිහි වී ඇය සිනහ පහළ විය. එවැන්නකු සිටියාද වත් සිහි වූයේ ඔහු නොබෙල් තෑග්ග දිනා ගැනීම පිළිබඳව නැගුණු හා හෝවත් සමඟය.

ඇයට එක්වරම සිහිවූයේ ලාංකික යුවළක් නොබෙල් තෑග්ග දිනූ බව කොහේ හෝ දුටු පුවත්පත් සිරස් තලයකි.

“ලංකාවෙ කාන්තාවක් නොබෙල් තෑග්ග අරන් නැද්ද තව? මට මතකයිනේ දෝණි කළින් එහෙම එකක් ගත්තනෙ”

දහසය හැවිරිදි දියණිය දෙස බලා ඇය ඇසුවේ එබැවිනි. 

“පිස්සුද අම්මේ? මේ තමයි ලංකාවට හම්බුණ පළවෙනි නොබෙල් තෑග්ග”
සමදරා කල්පනා කරන්නට වූයේ ඒ පත්තර පිටුව පිළිඳවය. කොහෙන් ලැබුණාදැයි කියන්නට මතක නැති එය දරුවන්ගේ පැරණි පෙර පාසල් පොත් ගොඩෙහි දිනක් දුටු බව ඇයට මතක් විය. ඇයට හදිසියේ එය සොයා බලන්නට ආසාවක් ඉපදිණි. 

“අනේ අම්මෙ මල්ලි මගේ කොණ්ඩෙන් අදිනවා”

සමදරා දිසානායක වහා හැරී දියණියගේ ගෙතූ කොණ්ඩා කරල පුතුගේ අතින් 
මුදාගත්තාය. 

“ඔය ඉතින්. පොඩ්ඩ බැරි වෙන්න බෑ”

සැමියා රිය ගෙනැවිත් දොරකඩ නැවැත්වූ පසු ඉදිරි අසුනට පොරකමින් පුතුන් දෙදෙනාම ඉදිරිපසට නගිනුද, නිවසේ රැදෙන්නට කණු කුණු ගාමින් දියණිය බෑග් මලු තුනම රැගෙන පසුපස අසුනට නගිනුද බලා සිටි සමදරා දරුවන් නික්ම ගිය පසු පත්තරයද සිරස්තලයද සම්පූර්ණයෙන්ම අමතක වී තිබුණු හෙයින් නිවසේ ඉතිරි වැඩ කටයුතු සඳහා යාමට ගෙතුළට හැරුණාය.



Nissanka Rajapaksa

unread,
Sep 15, 2024, 11:09:50 PM9/15/24
to INDRAKA group
18
මිනිබිරිය 

- අමරවීර කොළඹගේ
(කැනඩාවේ 'දසත' මාසික  ඊ සඟරාවෙන්)
මිනිබිරිය.pdf

Nissanka Rajapaksa

unread,
Sep 16, 2024, 8:27:01 PM9/16/24
to INDRAKA group
19
මිථ්‍යා­දෘ­ෂ්ටි­කයෝ

- ශක්තික සත්කුමාර

“සුමේධ එහා පැත්තේ ඉඩමට හාමුදුරුනමක් වැඩලා. ඒ හාමුදුරුවෝ භාවනා කුටියක් හදාගෙන එතන දිගටම වැඩ ඉන්නවලු...” පත්තර කන්තෝරුවේ සිට නිවසට පැමිණි තම සැමියාට නිරාෂා අලුත්ම ප්‍රවෘතිතිය පැවසුවාය.
“අර වෙලත් එක්ක තියෙන ඉඩම් කෑල්ලට ද?” සුමේධ කාර්යාල බෑගය සාලයේ මේසය මතින් තබමින් බිරිය දෙස බැලුවේය.
“ඔව් අනේ අර රත්නසේකර මුදලාලි ගොඩ කරන්න හදලා අපි විරුද්ධ වුණේ...” නිරාෂා මුළුතැන්ගෙට යන උළුවස්සට හේත්තු වූවාය.
“රත්නසේකර ලොක්කා ඒක සඟසතු කර පූජා කරල ද? පුදුමයි...” සුමේධ කමිසයේ බොත්තම් එකිනෙක ගලවන්නට වූවේය.
“ඔව් එහෙම තමා ආරංචි. ඒ හාමුදුරුවොනම් ගොඩක් සිල්වත් වගේ...” නිරාෂා තම සැමියාට තේ කෝප්පයක් සාදාගෙන ඒමට මුළුතැන්ගේ දෙසට ගියාය.
ඇඳුම් උනාදමා නාන කාමරයට වැදුණු සුමේධ වතුර මලෙන් එන සීතල වතුරට ඔලුව අල්වාගෙන සිටියේය. මාධ්‍යවේදියෙක් ලෙස දවස පුරාම සාමාජයීය හා දේශපාලනික වශයෙන් ඔලුවට වද දෙන ප්‍රශ්න ඔහු මොහොතකට අමතක කළේය. හොඳ හැටි නාගත් සුමේධ සරමකින් පමණක් සැරසී තුවාය කරමත දමාගෙන මුළුතැන්ගේ දෙසට ගියේය. සැමියා නාගෙන එනවා දුටු නිරාෂා දුම් දමන තේ කෝප්පය ඔහු අත තැබීය.
“දුව පේන්න නැත්තේ මොකද?” සුමේධ තේ කෝප්පය තොළගාන ගමන් ඇසුවේය.
“මාලනීලගේ ගෙවල් පැත්තේ ගියා. ඒ ළමයි එක්ක තාම සෙල්ලම ඇති” නිරාෂා රාත්‍රී ආහාරය පිළියෙල කිරීමට සූදානම් වූවාය. සුමේධ තේ කෝප්පය තොළගාන ගමන් නිවස මැදින් ඉස්තෝප්පුවට පැමිණියේය. ඉස්තෝප්පුවේ තබා තිබූ පුටුවේ හිඳගත් ඔහුගේ නෙතු දිවගියේ බටහිර අහසටය. අහස නෙක පැහැ ගන්වමින් හිරු බැසයාමට සූදානම්ය. කොට්ටාව දෙසින් නොකඩවා වාහනවල නලා ශබ්දය ඇසේ. මත්තේගොඩ දෙස සිට පැමිණි වෑන් රථයක් නෙරළු පෙදෙස දෙසට ගමන් කරන්නට වූවේය. තේ එක බී අවසන් කළ සුමේධ අසල ටීපෝව මත කෝප්පය තබා නැගී සිටියේය. වෙල සහිත හිස් ඉඩමේ හිමි නමක් සක්මන් භාවනාවේ යෙදෙනවා ඔහු දුටුවේ ඒ මොහොතේදීය. තාවකාලිකව ඉදිකළ මඩුවක් ද පසෙකින් වූවේය. මාලනී සහ ඇගේ දරුවන් දෙදෙනා සමග තම දියණිය ගේට්ටුවෙන් ඇතුළුවූ නිසා සුමේධ ‘නිරාෂා’ යැයි කියමින් නිවස තුළට යන්නට වූවේය.
“අර වැඩල ඉන්න හාමුදුරුවන්ට ආවාස ගෙයක් හදලා දෙන්න ගමේ අය තීරණය කරලා.” රාත්‍රී කෑම මේසයේ දී නිරාෂා කීවාය.
“කව්ද කීවේ...” කෑම කන ගමන් සුමේධ ඇසුවේය.
“දුවව ගෙනත් ඇරලන්න ආපු ගමන් මාලනී කීවේ” දුවගේ පතට පරිප්පු හැන්දක් බෙදමින් නිරාෂා පිළිතුරු දුන්නාය.
“ඒක හොඳයි. අපිත් උදව්වක් කරමු. අර හදාගෙන ඉන්න මඩුවේ කොහොම වැඩ ඉන්නද?” තම සැමියාගේ කතාව හිසින් අනුමත කළ නිරාෂා සැමියාගේ පතට බත් හැන්දක් බෙදුවේය.
“තාත්ති අපි හෙට ඒ සාදුගෙන් බණ අහන්න යනවා” දුව කියන විට සුමේධ බිරිය දෙස බැලුවාය.
“ඔව් අනේ හෙට බණක් කියනවලු ඒ හාමුදුරුවෝ.”
සුමේධලාගේ නිවස අසල පිහිටි හිස් ඉඩමට වැඩි ස්වාමීන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය ඇසීමට බොහෝ දෙනෙක් පැමිණ සිටියහ. ධර්ම දේශකයාණන් වහන්සේට අවශ්‍ය ධර්මාසනය, ඒ මත එලීමට සුදු රෙද්දක් සහ ධර්ම දේශනය අසන අයට ඉඳගැනීමට පැදුරු ආදිය සපයන ලද්දේ සුමේධලාගේ නිවසින්ය. නිරාෂා ඒ කටයුතු සැදැහැ සිතින් කළාය. සුමේධ ද හැකි පමණ ඇයට සහය විය. නමුත් ඔහු ධර්ම දේශනය සවන්දීමට සිටියේ නැත.
“මේ ඉරිද පත්තරේට ආටිකල් වගයක් තියෙනව ලියන්න. ඔයයි දුවයි බණ අහන්න...” සුමේධ නිරාෂාගේ කනටකර පවසා හිමින්සීරුවේ නිවස දෙසට පැමිණියේය.
රත්නසේකර මුදලාලි එම ඉඩමේ කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට කියමින් එහි වූ වෙල සහ වගුරු බිම ගොඩ කිරීමට තැත් කළ අවස්ථාවේ මුළු ගමම එහි පැමිණියේ ඊට විරෝධය දැකිවීමටය. නමුත් රත්නසේකර තම දේශපාලන හයිය මත ගමේ විරෝධය නොතකා ක්‍රියා කිරීමට විය. ඒ අවස්ථාවේ තමා පුවත්පතින් ඒ පිළිබඳව දිගටම ලියූ නිසාත් ගමේ අය එකතු කරගෙන නඩුවක් දැමූ නිසාත් ඉඩම ගොඩ කිරීමේ ක්‍රියාව නතර කිරීමට මුදලාලිට සිදු වූ බැව් සුමේධ කල්පනා කළේය.
“රත්නසේකර මුදලාලිට පිලිකාවක්ලු, මිනිහා ඒකයි ඔය ඉඩම පුජා කරල තියෙන්නේ” රාත්‍රී ආහාරයෙන් පසු නිරාෂා කී කතාව නිසා සුමේධ බලමින් සිටි පුවත්පත පසෙකින් තැබීය.
“මොනවා. හාමුදුරුවොද කීවේ...” සුමේධ තම බිරියගෙන් ඇසුවේය.
හාමුදුරුවෝ ඕව කියනව යෑ. බණ්ඩාර නැන්ද කීවේ. බණ ඉවරවෙලා එද්දි...” රාත්‍රී ඇඳුමකින් සැරසී සිටි නිරාෂා බණ පොතක් කියවමින් සිටියාය.
“අද ගමේ කට්ටිය ‘සමාධි’ කියල සභාවකුත් පිහිටවා ගත්තා. ස්වාමීන් වහන්සේව දිගටම මෙතන නවත්ව ගන්න වැඩ කටයුතු කරනවා කියලා කට්ටිය කතාවුණා.” නිරාෂා ද කියවමින් සිටි බණ පොත වසා ටීපෝව මතින් තබමින් කීවාය.
නිවසට හැරෙන හන්දියේ දමා ඇති දැන්වීම් පුවරුව දෙස සුමේධ මොහොතක් බලා සිටියේය. ඔහුගේ එක් අතක වූයේ කාර්යාල බෑගයයි. අනෙක් අතෙහි වූයේ ගෙදරට මිලදී ගත් සිලලර දැමූ ෂොපින් කවරයකි.
“ආ සුමේධ අයියා. වැඩ ඇරිල එන ගමන් වගේ...” මෝටර් බයිසිකලයකින් පැමිණි තරුණයන් දෙදෙනක් එය සුමේධ අසල නැවැත්වුවේය.
“ආ ගයාෂාන් මල්ලිලනේ... ඔව්... මං මේ එන ගමන්. මේක දැකල නැවතුනේ...” සුමේධ හිසින් දැන්වීම් පුවරුව පෙන්නුවේය.
“ඒකනේ. අයියා භාවනා අසපුවේ වැඩවලට එන්නෑනේ. අක්කයි දුවයිනම් එනවා. මේ ඉරිදට අලුතෙන් හදපු ලැගුම්ගේ විවෘත කරනවා. තව ධර්ම ශාලාවක් හදන්න මුල් ගල තියනවා. අපි මේ අසපුව පැත්තේ යන ගමන්...” ගයාෂාන් මෝටර් බයිසිකලය පණ ගැන්නුවේය. සුමේධ ඔවුන්ට සමුදුන්නේය.
සමාධි භාවනා අසපුවේ භාවනා වැඩසටහන් සඳහා පැමිණෙන පිරිස් දිනෙන් දිනම ඉහළ යන්නට වූහ. මත්තේගොඩ, කොට්ටාව වැනි නගරවලින් පමණක් නොව පිළියන්දල, මහරගම, හෝමාගම, කුරුඳුවත්ත වැනි ප්‍රදේශවල සිට ද වැඩසටහන් සඳහා පිරිස් පැමිණෙන්නට වූහ.
“සුමේධ ඔයගොල්ලන්ගේ ගෙවල් පැත්තේ හොඳ අසපුවක් තියෙනවලු නේද? ඒ ගැන ආටිකල් එකක් කරන්න.” පුවත්පතේ ප්‍රධාන සංස්කාරකවරයා කියූ නිසා සුමේධ සමාධි අසපුව පිළිබඳව විශේෂාංගයක් කළේය. අදාළ විශේෂාංගය පුවත්පතෙහි පළ වූ දින ස්වාමීන් වහන්සේ සුමේධගේ නිවසට වැඩම කොට ඒ පිළිබඳ ස්තූතිය පළ කළහ.
නිරාෂාගේ දුරකථන ඇමතුම එන විට සුමේධ පුවත්පතෙහි පිටුවක් සැලසුම් කරමින් සිටියේය.
“සුමේධ හරිවැඩේනේ... අසපුවේ වෙලයි වගුරයි ගොඩ කරනවා...” නිරාෂාගේ හඬෙහි වූයේ තැතිගත් ස්වභාවයකි.
“උසාවියෙන් ඒක ගොඩ කරන එක තහනම් කරලනේ තියෙන්නේ... ඕක ගොඩ කරොත් මුළු ගමම යටවෙනවා. ගමේ අය නැද්ද?” සුමේධ කලබල වූවේය.
“ගමේ අය කීපදෙනෙක් ගේන පස් තුනී කරන්න ශ්‍රමදානයක් කරනවා...” නිරාෂාගේ වදන් සුමේධට අදහා ගත නොහැකි විය.
“මොනවා මේ මිනිස්සුන්ට පිස්සු ද? මං නිවාඩුවක් දාලා එන්නම්...” සුමේධ දුරකථනය විසන්ධි කළේය. හදිසි නිවාඩුවක් ලබාගත් ඔහු නිවසට පැමිණෙන විටත් අසපුව පල්ලෙහා වෙල සහ වගුරු බිමේ කොටසක් ගොඩකර තිබුණි. සුමේධ ඉක්මනින් ග්‍රාම නිලධාරීවරයා කැඳවාගෙන උසාවි නියෝගයේ පිටපතක් ද ගෙන අසපුවට යන්නට විය.
“අම්මි මං ආය සෙල්ලම් කරන්න මාලනී ආන්ටිලගේ ගෙදර යන්නෑ.” දුව මූණ කළු කරගෙන ගෙට ඇතුළු වූවාය. ඉරිදා දිනයක් වූ එදින දිවා ආහාරය ගෙන සුමේධ පුවත්පතක් බලමින් සිටියේය.
“ඇයි? තරුෂිත් එක්ක රණ්ඩු වුණාද?” නිරාෂා දුව දෙසට එමින් ඇසුවාය.
“නෑ. මාලනී ආන්ටි කීවා අපේ තාත්ති දෙව්දත් පරපුරේ කෙනෙක් කියලා.” දුව අම්මාගේ අතේ එල්ලුණාය.
“ඒ කතාවේ තේරුම මොකක්ද?” නිරාෂා දුවව වඩාගත්තාය.
“අසපුව දියුණු කරන්න දෙන්නැත්තේ ඒ හින්දලු.” දුවගේ වදන්වලට සුමේධට සිනහ ගියේය. නිරාෂා තරහින් පුපුරන්නට වූවාය.
“ඒ ගෑනිට පිස්සුද? අපි විරුද්ධවුණේ අසපුව දියුණු කරනවට නෙවේ. අර වගුර ගොඩ කරනවට. මං මාලනීට හොඳවයින් දෙකක් කියන්නම්කෝ” නිරාෂා උස් හඬින් කියන්නට වූවාය.
“කෑගහන්න එපා. මිනිස්සුන්ගේ හැටි ඔහොම තමයි.” සුමේධ බිරියව අස්වසන්නට වූවේය.
දියණිය සෙල්ලම් කිරීමට යන ගමන නවතා දැමූ පසු නිරාෂාද අසපුවට යන ගමන නවතා දැමීය. ඒ පිළිබඳව සුමේධ ඇයගෙන් නොවිමසුවේය. අසල්වැසියෝ සමහරක් පාරක තොටක හමුවුව ද තමන්ව මගහරින බව සුමේධට ද අවබෝධ වී තිබුණි. එහෙත් ඔහු ඒ පිළිබඳව එතරම් තැකීමක් නොකළේය.
රාත්‍රියේ පටන්ගත් වර්ෂාව උදය වන විට ද අඩු වීමක් නොවීය. වැස්සේ රැකියාවට යාමට සුමේධ මැළිවිය. ඔහු දුරකථනයෙන් පත්තර කන්තෝරුවට කතා කොට නිවාඩුවක් ලබා ගත්තේය. දියණියගේ පාසල් ගමන ද නතර කළේය. දහවල් වන විට වර්ෂාව එන්න එන්නම වැඩි විය. අසපුව දෙසින් පැමිණෙන බොර වතුර පාරේ වේගය සහ ප්‍රමාණය ද මදින් මද වැඩි වන්නට වූවේය. ගෙවත්ත සම්පූර්ණයෙන් වතුරෙන් යට වූ පසු නිරාෂා බියවූවාය.
“අනේ සුමේධ ගේ ඇතුළටත් වතුර දායි ද දන්නෑ. කෝකටත් අපි උඩ පැත්තේ තියෙන රුවන්ලගේ ගෙදරටවත් යමුද?” දියණිය වඩාගෙන පැමිණි නිරාෂා සුමේධ අසල වාඩිවුවාය.
“බයවෙන්න එපා මම රුවන්ට කතා කරල ඔය දෙන්නව එහේ නතර කරන්නම්. නිර්මාණිත් ගෙදර ඇති. අර වෙලයි වගුරයි ගොඩ කරපු එකෙන් තමා වතුර මෙහාට දාන්න පටන් ගත්තේ...”
“සුමේධ ජංගම දුරකථනයෙන් රුවන්ට ඇමතුමක් ලබා ගත්තේය. දුරකථනයට පිළිතුරු දුන්නේ රුවන්ගේ බිරියයි. සුමේධ දැනට තම පවුල මුහුණ දී ඇති ගැටලුව සැකවින් පැවසුවේය.
“ඔහොම තමා මිස්ට සුමේධ. මිථ්‍යාදෘෂ්ටික වුණහම ස්වභාවධර්මය හරි ඒ අයට එරෙහි වෙනවා...” දමයන්තිගේ වදන් සුමේධගේ දෙසවන් පසාරු කරවාගෙන ගියේය.


Nissanka Rajapaksa

unread,
Sep 17, 2024, 8:17:31 PM9/17/24
to INDRAKA group
20
මාර ගෑණියෙක්

- පවිත්‍රා අභයවර්ධන

“මාර ගෑණියෙක්”, “මාර ගෑණියෙක්”

දුලංග හරි විස්තරයක් කියන්නෙ නැතිව ගමනක් ගිහින් ඇවිත් ඇ‌‌‌ඳේ එහා පැත්තේ හිමින් ගොරව ගොරව නිදාගද්දිත්, පස්සෙ ඒ පැත්ත හිස් වෙලා සෑහෙන කාලයක් යනතුරුත් මධුනි‌ගෙ නින්ද නැති කරලා, පපුව මහා වේගෙන් ගැහෙන්න සලස්සපු වචන තමයි ඒ. දවස තිස්සේ පුතා එක්ක දඟලලා රෑට මහන්සියටම එක පාරම නින්ද ගියත් බය වෙලා ඇහැරුණාම පපුව නවතින්න වගේ ගැහුණේ ඔය වචන මතක් වෙලා.

තමන්ගේ මිනිහා තව ගෑනියෙක්ව “මාරයි” කියලා හිතන එක තරම් අමාරුවක් බැඳපු හෝ බැඳලා නැතුව හරි මිනිහෙකුට බැඳිච්ච ගෑනියෙකුට තියෙන්න බෑ. සමහර විට තමන්ගේ මිනිහට තමන් ඇර අනිත් ලෝකෙ ඔක්කොම ගෑණු “මාර” වෙලා ඒක සාමාන්‍ය වෙච්ච ගෑණුත් ඇති. ඒත් මධූනිට නම් ඒක පිහියෙන් අනිනවා වගේ උනා.

 කිසිම විශේෂයක් නැති සිද්ධියක් උනත් දුලංග ඉස්සෙල්ලම ඇවිත් ඒ මාර ගෑනි, නැත්නම් මාර දූති ගැන කියපු හැටි අවුරුදු ගාණක් ගිහිල්ලත් මධුනිට චිත්‍රපටියක් වගේ මැවුණේ ඒ හින්දයි.

“උඹට ඕක ඔච්චර හොඳට මතක කොහොමද බං”

මධුනිගේ හැමදේම දන්න යාලුව, ප්‍රියා ඔය විස්තරේ කියද්දි පුදුමෙන් ඇහුවේ ඒකයි.

“අනේ මන්දා බං, ගෑණුන්ට ඉව තියෙනව කියනවනේ ඕව ගැන”

ඉවමත් නෙවෙයි. අවුරුදු ගානක් මිනිහෙක්ගේ හැම ඉරියව්වක්ම සෙන්ටි මීටර් ගාණක් දුර ඉඳලා පටන් දැකලා පුරුදු ගෑණියෙකුට ඒ මිනිහගේ හිනාවක, බැල්මක, වචනෙක හරි පොඩි වෙනසක් මහ ලොකුවට තේරෙනවනෙ.
---------------------------------------
ඒ ගෑනි ගැන පළවෙනියටම කියපු දවසේ දුලංග ස්ටාෆ් මීටිං ඉවරවෙලා පරක්කු වෙලා ආවෙ. වාහනෙන් බැහැලා ආවෙත් දුරකථනය කණේ තියාගෙන.

“කියල වැඩක් නෑ බං. ජී එම් ලොක්කගෙ රෙදි ඉල්ලෙ. මේ මචං මං ගෙදර ආව. තියනවා”

“අද කළින් නේද ඔයා?”

මධූනි තේක දෙන ගමන් ඇහුවෙ වෙනද ස්ටාෆ් මීටිං දවසට රෑ අටෙන් මෙහා ගෙදර එන්න හම්බවෙන්න නැති නිසා.

“අර මරු වැඩක් උනානෙ ජී එම් ලොක්කට. මිනිහා ඔය අලුත් සෙට් එකක් එහෙම අලුතින් ගත්තම ස්ටාෆ් මීටිං වල එක පාර ප්‍රශ්න අහල කිච කරලා නිකම් ගොං ආතල් ගන්නවනේ. එතකොට අලුත් එවුන් ටිකක් බය වෙනවනේ. එකවුන්ට් ඇසිස්ටන්ට් කෙනෙක් අරං ගිය මාසෙ. අද අකවුන්ටන්ට් නිවාඩු හින්දා ඒ කෙල්ල ඇවිත් හිටියේ මීටිමට. මේ යකා පරණ අකවුන්ට් එකක විස්තර අහපුවාම අර කෙල්ල කිව්වා ඒක පාර කියන්න බෑ. බලලා රිපෝට් එකක් දෙන්නම් කියලා”

“ජී ඒම් කඩාගෙන පැනලා මෙතන එදා වේල ටුවර්ස් කරන්න ලෑස්ති වෙන්න එපා. ඔයාල ළඟ අහන විස්තර තියෙන්න ඕන. මීටිං එකකට එද්දි ලෑස්ති වෙලා එන්න ඕන කියලා හෙණ සද්දයක් දැම්මා. කැඩි කැඩී කඩ්ඩෙනුත් වාක්‍ය දාලා නිකං.
ඒකි ඒක පාර කිව්වනේ මට කවුරුවත් හරියට වැඩ හෑන්ඩ් ඕවර් කළේ නෑ, මම ම‌ගේ බොස්ටත් කීප සැරයක් කිව්වා, ඔයාවත් හම්බවෙලා කිව්වා මට හරියට ඩියුටි ලිස්ට් එකක් දෙන්න, වැඩ ටික පෙන්නලා දෙන්න කියලා. ඔයාල එහෙම කිසිම පිළිවෙළක් නැතුව වැඩ කරලා මට ඔහොම කතා කරන්න එපා. මට ඔය අකවුන්ට් වලට තවම ඇක්සස් වත් නෑ කියල”

“අප්ප ඉතිං.”

“ජී එම්ට කට උත්තර නෑ. ඊට පස්සෙ එච් ආර් එකට බනින්න පටන් ගත්තා පිළිවෙළට ඒ වැඩ කරලා නෑ. කළින් එකා යද්දි වැඩ ටික භාර දුන්නේ නැත්නම් යැව්වෙ කොහොමද කියලා. පස්සේ වෙන මීටිං එකක් තියෙනවා කියල ඉක්මනට ඉවර කරලා ගියා. පොර මීමා වගේ කඩන් පනිද්දි වෙනදට මොකෙක්වත් අනිත් පැත්තට කතා කරන්නේ නෑනෙ. අරකි ගාණක් නැතිව සුපිරි කඩ්ඩෙන්ම කියලා දැම්මනේ. කාල ඉන්න බැරි වෙන්න ඇති”

“හ්ම්”

“මට උදානයා පස්සේ කිව්වේ ඒකි ඩුබායි වල අවුරුදු ගාණක් වැඩ කරලා තියෙනවලු. හොදට සල්ලිත් තියෙන කෙල්ලෙක්. එතකොට ඔහොම කතා කරලා ජොබ් එක නැති උනත් බයක් නෑනෙ. හැබැයි මරු. මාර ගෑණියෙක් තමයි.”

ඔය දෙබස පොඩි වචනයක් දෙකක් එහාට මෙහාට වෙලා උනත් මධුනිට හරියටම මතකයි. දුලංගගෙ මූණ ඒ වෙලාවෙ තිබ්බ විදියත් එක්ක.
-------------------------------------------------------------------------------------------------------------------------------
ඊට පස්සේ ඒ “මාර ගෑණි” අෂිකා කොච්චර තමන්ට බලපාන කෙනෙක් උනාද?

ස්වභාවිකව කඩා හැළෙන ලස්සනක් නැතත්, බොහොම “පොෂ්” කියලා කියන්න පුලුවන් පෙනුම, හොඳ රස්සාව, ආර්ථික ස්වාධීනත්වය, අම්මා තාත්තා වෙන් වෙලා නිසා නැන්දා ළඟ හැදිලා පොඩි වයසෙන්ම ඩුබායි ගිහින් හම්බ කරලා, නිදහසේ ඉඳලා ඇතිවෙච්ච අමුතුම ගතිය, ලංකාවේ හැදිච්ච ගෑනියෙක් වගේ බඳින්න, එක ගෙදරක ඉන්න, ළමයි හදන්න වගේ අරමුණු නැතිව බොහොම නිදහසේ ආශ්‍රය කරන්න කැමති වීම, විවෘත වීම වගේ මාර මාර දේවල් එකතු වුණ පැකේජ් එකක් උන අෂිකා එක්ක තර‌ඟෙට යන්න මධුනි මුල ඉඳලාම හිතුවෙ නෑ.

මුල්ම මාස දෙක තුනේ නං සති තුනෙන් තුනට ෆේෂල් දාන්න ගිහින්, ගෙදරටත් හොඳ ඇඳුම් අරන් විකාර කළා තමයි. ඒත් ඉක්මනට මධුනි තේරුම් ගත්තා. සාමාන්‍ය පවුලක ඉපදිච්ච, ඒ ලෙවල් යන්තම් පාස්, මොන්ටිසෝරි කෝස් එකක් කරලා බඳින්න කළින් අවුරුදු දෙකක් මොන්ටිසෝරියක “ආන්ටි” කෙනෙක් උන තමන්ට අෂිකාට මොන විදියකින්වත් තරඟයක් දෙන්න බෑ කියලා නෙවෙයි.

රටේ ඉන්න ගෑණු එක්ක තරඟ කර කර මිනිහෙක් තියාගන්න දඟලන්න ඕන නෑ කියලා.

අවුරුදු දහ අටේ ඉඳලා තමන්ගේම කියලා කියන්න කෙනෙක්, තමන් ගැන හොයන්න කෙනෙක් නැතිව බොහොම නිදහසේ හිටපු අෂිකත් කිසිම බරපතලක් නැතුව පටන් ගත්තු සම්බන්ධයක් උනත් මධුනියි පුතයි අයින් වෙලා දුලංග නිදහස් වෙද්දි අෂිකා දුලංගව බැන්දා. තමන්ට කවදාවත් තිබිල නැති පවුලක්, තමන්ගේ ගෙදරක් දොරක් එක්ක තියෙන සතුට එයාට ලැබුණා. දුලංගටත් පොඩි ගෙයක් කුලියට අරගෙන, පොඩි වාහනයක් ණය වෙලා අරගෙන ගතකරපු බොහොම සාමාන්‍ය ජීවිතෙන් මිදිලා, ලක්ෂරි කෲස් වල ට්‍රිප් යන, කාන්තාරවල ලෑන්ඩ් කෲසර්වලින් රේස් පදින, වයින්, සාද උතුරන බොහොම වර්ණවත් ජීවිතයක් ගත කරන්න ලැබුණා.
-----------------------------
දුලංග අයින් වෙලා ටික දවසකින් මධුනිලව බලන්න ආපු ප්‍රියා තමන්ට තේ හදන මධුනිගෙ අත එක පාර අල්ලලා බැලුවේ අතේ වෙනසක් දැකපු නිසා.

වෙනසක් තමයි.

මැණික් කටුව ළග ඇතුල් පැත්තේ කළු පාට පච්චයක්. වචන දෙකක. “මාර ගෑණියෙක්”

“පිස්සුද බං. අර ප.ට්.ට බැ.ල්.ලි නිසා පිච්චි පිච්චි තව ඒක බලන ගානෙ පේන්න ටැටූත් ගහගෙන”

“ඒක මතක් වෙන්න නෙවෙයි බං” මධුනි හිනා උනා.

“හිනා වෙන්න එපා බං. උඹ පණ්ඩිතකම් නොකර අර යකාව රස්සාවෙන් හරි අස් කරගෙන, අරකිටත් සෙනඟ මැද්දෙදි හරි හොද දෙකක් කියලා ආව නං ගමේ ගොඩේ තාලෙට හරි ඕක විසඳිලා. උඹ වැදගත් විදියට විසඳන්න ගිහින් තමයි අර යකාව ඕකිට පුදන්න උනේ. මගේ මාලු නටනවා ඕකා එහෙ අරකි එක්ක එක එක මඟුල් වල ගිහිල්ලා ෆොටෝ දාද්දි”

“අනේ මොකටද ප්‍රියා. එහෙම තියාගත්තත් මට පණ තියෙනකං ඕක අමතක වෙන්නේ නෑනෙ. මං ඕක තේරිච්ච ගමන්, දුර දිග යන්න කළින් දුලංගට කිව්ව. දුර ගියාට පස්සෙ නවත්තගෙන මොකටද? මං පණ තියෙන කං පිච්චෙනවා. අනික දුලංග ගමනක් යන ගානෙ, කෝල් එකක් එන ගානෙ මට හිතෙයි අෂිකාද කියල. නැතනම් වෙන ගෑනියෙක්ද කියල. ඒ ගානෙ රණ්ඩු වෙවී ඉන්නවට වඩා මෙහෙම හොදයි. ඒව අමතක කරලා ඉන්න පුලුවන් මිනිස්සුත් ඇති. ඒත් මට බෑ’

ප්‍රියා තරහෙන් උනත් සද්ද නැතුව හිටියා. ඒ කතාව වැරදි නැති නිසා.
------------------------
කළින් දවසේ දෙකට තුනට නිදා ගෙන පහට එලාර්ම් එක ඇහිලා තව පොඩ්ඩක්
ඇහැ පියාගන්න හිතුණම මධුනි බැලුවෙ මැණික් කටුව දිහා. 

ඒ අකුරු දෙක කෙළින්ම තමන්ව ඇදෙන් බස්සලා එදාට කරන්න තියෙන වැඩ ටිකට යවනව කියලා ගෑණි දැනගෙන හිටියා.

රස්සා හොයලත් පුතා දාලා යන්න විදියක් නැතුව ඉද්දි ළමයි ටිකක් එකතු කරගෙන ගෙදරම ඩේ කෙයාර් එකක් පටන් ගන්නත් පුතාව වරුවකට අම්මලගෙ ගෙදර දාලා නාවලට දුවලා කැම්පස් එකේ අවුරුද්දෙ කෝස් එක මඟ නවත්තන්නෙ නැතුව කරන්නත් ගැම්ම ආවෙ ඒ වචන දෙකෙන්.
නැත්නම් දවසම ඇ‌ඳෙන් නැගිටින්නෙ නැතුව ඉන්න තමයි හිතුණේ මුලින්ම.

ප්‍රියාට ඇරෙන්න අම්මලට, මල්ලිලට හිතේ තියෙන ඔක්කොම නොකිව්වත් තමන් මදි උනා, දෙවනි උනා, තනි උනා කියන්නෙ වැදුණම නැගිටින්න ලේසි පාරක් නෙවෙයි.
-----------------------
තනියෙං යනවා කියන්න ලේසි නෑ. විශේෂෙන් දෙන්නෙක් වෙලා ඉඳලා තනිවෙන එක ලේසිම නෑ. දුකක්, අමාරුවක්, බයක් කියන්න කෙනෙක් නැති ජීවිතේ දවසක් ගානෙ පුදුම වෙහෙසයි. 

මල්ලි කසාද බැඳලා ඈතකට ගියාම, නෑනා තමන් එක්ක වැඩිය හිත හොඳ නෑ කියල දැනුණම, අම්මා මල්ලිගෙ බබා බලාගන්න එහෙ ගිහින් නැවතුණාම ඒ තනිකම දරුණු උනා. ඒත් ඒ වෙද්දි මධුනිට වැඩ වැඩිවෙලා. හිතේ තිබුණ දුක අඩුවෙලා. පුතත් දන්නෙම නැතුව ලොකු වෙලා.

ගෙදර ඩේ කෙයාර් එක වෙන තැනක ලොකුවට පටන් ගත්තෙ ගෙදර අම්මටයි පුතාටයි නිදහසේ ඉන්න. දැන් ඩේ කෙයාර් එකේ ශාඛා දෙක තුනක් තියෙනවා. පුතාව ඉස්කොලෙට, පන්තිවලට, ක්‍රීඩා ප්‍රැක්ටිස්වලට දාලා මධුනි ඒ වැඩවලට දුවනවා. කාර් එකේ.

බබාල බලාගන්න එක කොළඹ මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙනෙ. අම්මලා තාත්තලාගෙ හිත සතුටු වෙන විදයට බබාල බලාගන්න තැන් හදපු මධුනි තව වැඩකට අත ගැහුවා. ගෘහ සේවිකා ඒජන්සියක්. ගම්වලින් එක්කගෙන එන වැඩිහිටි ගෑණු අය සතියක් දෙකක් නවත්තෙගන හොදට වැඩ පුහුණු කරලයි යවන්නෙ. එයාල හදිසියෙ ගෙදර ගියොත් එදාම තව කෙනෙක් ගිහින් දෙනවා.

මධූනිම කතා කරලා බලලා විශ්වාසවන්ත, පිරිසිදු, යමක් කමක් තෙරෙන අය තමයි එක්ක ආවෙ.
----------------------
ප්‍රියා මධුනිගෙ ඩේ කෙයාර් එකයි ඒජන්සියයි තමන්ගෙ යාලුවො නෑයො අතරෙ මාකට් කළා.
 අවුරුදු ගෙවුණත්, නිතර හම්බ නොවුණත් යාලුකම අඩු උනේ නෑ.

 දවසක් ඔෆිස් එකේ යාලුවෙක් ඔලුව ගිනි අරගෙන හතර අතට කතා කර කර සර්වන්ට් කෙනෙක් හොයද්දි ප්‍රියා මධුනිගෙ ඒජන්සියෙ නොම්බරේ දුන්නා.

“ඔයා දන්නව මෙයාව. අර ටයිනි බඩ්ස් ඩේ කෙයාර් එක කරන මගෙ යාලුවගෙ මේ ඒජන්සිය”

“ආ එහෙනම් හොඳ ඇති ඩේ කෙයාර් එකත් හොඳ ස්ටෑන්ඩඩ් නෙ”

ටිකකින් යාලුවා ආවා.

“ඒක හෙණ ප්‍රොෆෙෂනල්නෙ. කතා කළාම එක එක එක්ස්ටෙන්ෂන් තියෙනවා. බබාල බලාගන්න, උයන්න විතරක් නම්, ලෙඩ්ඩු බලාගන්න එක එක ජාතියෙ අය ඉන්නවා. මං හවසට යනව ඔෆිස් ඇරිලා.”

“ඔව් මධූ මොනව කළත් හරි පිළිවෙළයි”

“මධූ කිව්වේ අර ඔයා ඉස්සර කිව්වෙ මහත්තයා දාලා ගියා කියලා එයාද?”

“ඔව්. ඔයාට මතකයි නේද? පුතත් බලාගෙන ආදායමකුත් ඕන හින්දයි මධූ ඩේ කෙයාර් එක පොඩිවට මුලින්ම පටන් ගත්තෙ”‍

“දැන් බලන්නකො නේද? බ්‍රාන්චස්ම කීයක්ද? මාරයි. මාර ගෑණියෙක් නේද? තනියම ඔය ඔක්කොම රන් කරනවා කියන්නෙ”

“මාර ගෑණියෙක්” කියන වචනෙ ඇහුණම ප්‍රියාට හිනා ගියා. මධූගෙ අත මතක් උනා. මධූ එහෙම ගහ ගත්තෙ ඇයි කියලා ප්‍රියාටත් තේරුණේ පස්සේ.

“ඔව් මාරම ගෑණියෙක් තමයි” මේ දෙබස මධූටත් කතා කරලා කියන්න ඕන කියලා හිතාගන්න ගමන් ප්‍රියා යාලුවට කිව්වා.

Nissanka Rajapaksa

unread,
Sep 18, 2024, 9:14:13 PM9/18/24
to INDRAKA group
21
පුන්‍යානුමෝදනා

- දයානි දැරණියගල 

"මගෙ රත්තරනේ...ගහක් ගලක් වගේ හිටිය මනුස්සය. හීනෙකින් වත් හිතාපු දෙයක්ද මේ උනේ...? අනේ ඉතින් මීට පස්සෙ අපිට කන්න අඳින්න දෙන්නෙ කවුදෝ...?"

බැරැණ්ඩි හඬින් තම බිරිඳ නගන විලාප හඬ ඇසුන සියාතු බංඩා සිදුවුණ කිසිවක් නොදැන වට පිට බලන්නට විය.⁣ දියණියන් දෙදෙනාද එකිනෙකා බදා ගෙන බෙරිහන් දෙයි. ඉස්තෝප්පුවේ වැල් ඇඳ වටකොට ගෙන පිරී ඇති සෙනග ඇඳට නැමී යමෙක් පිරික්සනු පෙනේ එහෙත් ඇඳමත සිටින්නේ කවුද යන්න සියාතු බණ්ඩාට තාමත් ගැටළුවකි.

"ග්‍රාම සේවක මහත්තය එනව... ඔය කට්ටිය පොඩ්ඩක් ඔතනින් අයින් උනොත් හොඳා.."

ඒ ඇසුනේ සේකරගේ හඬයි.

"අසනීපෙන් හිටියෙත් නෑ නේද...? මම ඊයෙත් දැක්ක කුඹුරෙ නියරවල් බැඳ බැඳ ඉන්නව.. කීයට වගේද මේක උනේ...?"

ඇඳ අසලටම පැමිණි ග්‍රාම සේවක මහතා ඇඳමත හොවා සුදුරෙදි කඩකින් වසා ඇති සිරුර නිරාවරණය කලේය.

'අප්පට සිරි ඒ ඉන්නෙ මමනෙ.. එතකොට මම මැරුණද..? මම මැරුණ කියන්න මමවත් දන්නෙ නෑනෙ..'
ඔහු ඒ ඉන්නේ තමාමද යන්න හොඳින්ම දැක බලාගනු පිණිස ඇඳට ඉහලින් ඇති යටලීය මත හිඳගත්තේය. යට ලීයේ බැඳතිබූ කුඹල් ගෙයක් ඔහුගෙ පයේ වැදී ගැලවී වැටුනේ පබිලිනාගේ හිස මතටය.

"ආහ්...!"

හිස දෑතින් බදා ගත් පබිලිනා උඩ බැලුව ද ඇය තමා නොදුටු බව සියාතු බණ්ඩාට දැනුනි.

"අනේ.. ග්‍රාමසේවක මහත්තයො.. මම එපා කියද්දි මේ දවස් ටිකේම කාස්ටක අව්ව කාගෙන කුඹුරෙ වැඩ කලා... ඔය තරම් අව්වෙ ඉන්න එපා කියල මම කොච්චර නං කිව්වද.. අද දවල්ට බත් කන්න ගෙදර ආවෙ බොහොම තෙහෙට්ටුවෙන්... බත්ටික කාල ආයිමත් අනිත් අතට යන්න හදද්දි මමයි බලෙන් වගේ නවත්ත ගත්තෙ යන්න එපා කියල...."

පබිලිනා⁣ගේ රංගනය කොයි තරම් තාත්විකද.. මේකි කියන බොරු.. බත්ටික කාලා චුට්ටක් ඇලවුනා විතරයි.. මේකි පටන් ගත්තෙ නැද්ද ගෝරනාඩුව..
ඔහොම දපාතියාගෙන හිටියට කුඹුරෙ වැඩ වෙන්නෙ නෑ.. බත්කන්ඩයි විට කන්ඩයි බුදියන්ඩයි දවසෙන් බාගයක් වත් ගතකොරනව..
ඔහොම පුළුවන්ද කුඹුරු කොරන්ඩ..?
පබිලිනාගේ ගෝරනාඩුව ඇසී නින්දෙන් අවදි උන බව සියාතු බණ්ඩාට මතකය. ඇඟමැලි කඩා පිල මත ඉඳගත් බවත් මතකය. එකවරම දැනුන දැඩි පිපාසාවට පබිලිනාගෙන් වතුර ටිකක් ඉල්ලාසිටි බවත් මතකය. එහෙත් වතුර බිව් බවක්නම් මතක නැත. ඒ නිසාදෝ ඔහුට දැඩි පිපාසාවක් දැනුනි. ඔහු යට ලීයෙන් බැස පිරී ඇති සෙනඟ අතරින් කුස්සියට ගියේය. පොල් කටුවකින් වසා ඇති කල ගෙඩිය ලඟට ගිය සියාතු බණ්ඩා පොල්කටුව අතට ගත්තේ කළගෙඩිය නවා වතුර ටිකක් බීමටය . නමුත් ඔහු අතින් පොල් කටුව අත හැරුනේය..

"බුදු අම්මෝ..''

ලිප ගිනි නිවා කුස්සිය අස්පස් කරමින් සිටි ගැහැණු කීප දෙනා උඩ ගොස් බිම වැටුනේය. සුමනාවතී සට සට ගා වෙවුලනු සියාතු බණ්ඩාට පෙනේ...

"ඇයි.. ඇයි මොකද උනේ..?"

නොයෙක්වැඩවල නිරතව සිටි තවත් පිරිසක් ඇය වටකොට ගත්තේය.

"අනේ... මේ කළේවහල තිබුන පොල්කට්ට නිකම්ම උඩ ගිහින් බිමට වැටුන.. මම දෑහින්ම දැක්ක උඩට ගිහින් බිමට වැටුන හැටි..
කවුරුවත් ළඟ පාතක හිටියෙත් නෑ.."

ඇයගේ ඇස් ගෙඩි විසාල වීඇත..

"එතකොට උඹ කියන්නෙ සියාතු බණ්ඩ වතුර බොන්නආව කියලද...? අනේ මේ කෑ නොගහ ඉඳින් සුමනාවතියෙ... විකාර..!"

දුර දිග යන්නට තිබුන මල පෙරේත කතා සිරිසෝම ගේ හඬින් යටපත් උවද චකිතයෙන් යුතු ගැහැණු සෙමෙන් සෙමෙන් කුස්සියේ නොරැඳී සෙනඟ අතරට රිංගා ගත් අයුරුදුටු සියාතු බණ්ඩා ගේ මුව මත ඇඳුනේ මඳ සිනාවකි.

"මෙච්චර කාලෙකට ගෑණියෙක් මට බයඋනාමයි ඔය.."

"අන්න වාහනේ එනව දැන් මිණිය මල් ශාලාවට අරන් ගියාට පස්සෙ මේ ගේ ඔක්කොම සුද්ද පවිත්තර කරන්න ඕන.. මරණාධාර සමිතියෙන් අන කරනකං ඉන්න ඕන නෑ කොහොමත් සැරසිලි කටයුතු වැටෙන්නෙ අපේ කොටසටනොවැ.. අපි ඒටික කරමු.."

කවදත් කන්ඩායම් නායකයා වී වැඩ පෙන්නන්නට කැමති ජිනදාස පෙරමුණ ගත්තේය. 

'ඔවු ඉතිං උඹල බලා ඉන්නෙ කවුරු හරි මැරෙණකං.
මම දන්නෙ නැතුවයැ උඹල ගැන. හත්දොහේම මෙතන ලැගල අටවෙනි දවසෙ රෑටත් කාලම තමයි උඹල යන්නෙ..' තම කය මල් ශාලාව වෙත ගෙන ගියද සියාතු බණ්ඩාගේ මනෝකාය දොරකඩ විලාඩ් අඹ ගසෙහි අත්තක් මත රැඳුනි.

මෙතෙක් ඉණ දවටාගෙන සිටි කිළිටි රෙදි ඉවත්කොට සුදුවතින් සැරසුන පබිලිනා හා දියණියන් දෙදෙනා නොයෙක් කටයුතු වල යෙදෙන අයුරු සියාතු බණ්ඩාට පෙනේ. රැඳී සිටින පිරිසට අමතරව අලුතින් කිසිවෙකු එනු දුටු සැනින් පබිලිනාගේ විලාපය අලුත් වෙයි.

"අනේ.. නංගියේ. මගෙ දෙයිය මාවයි කෙල්ලො දෙන්නයි දාලා ගියා.."

පැමිණ සිටින්නී ඇයව අස්වසා ලීම
සඳහා බොහෝ දේ කියයි.

"ඕක තමයි අක්කෙ.. ජීවිතේ හැටි.
මාරයට වෙලාවක් කලාවක් නෑ..
මොනව උනත් මේ මරණෙ වාසනාවන්තයි.. එක පැයක්වත් එක්තැන් වෙලා නොඉඳ පන කෙන්ද පිට කරපු සියාතු අයියවත් දන්නෙ නැතුව ඇති එයා මැරුණ බව."

"අනේ ඔවු නංගියේ දවල්ට කාල චුට්ටක් ඇලවෙලා හිටිය... නින්ද ගිහින් හිටිය හින්ද මම ඇහැරෙව්වෙත් නෑ... එයාම ඇහැරල ආපහු යන්න ලෑස්තිවෙලා තිබහයි කියල වතුර ටිකක් ඉල්ලුව මම කුස්සියට ගිහිල්ල එන ටිකටත් ඔක්කොම වෙලා ඉවරයි නංගියේ.."

අම්මා කියන බොරු.. හොඳින්ම දන්නා කෙල්ලන් දෙන්නා එකිනෙකාගේ මුහුණු බලනු සියාතුබණ්ඩා දුටුවේය. 'පව් ලොකු එකී.. ඒකි මොනව උනත් මට හරි ආදරෙයි.. ඒකිට පෙළවහක් කරල දෙන්නත් කලින් මට මේ ගමන යන්න වුන එකයි දුක...'

ගෙවත්ත වහ වහා එළි පෙහෙලි වෙයි. මරණාධාර සමිතියෙන් ගෙන ආ හට් තැන තැන සවිවෙයි. සුදු කොඩි තැන තැන එල්ලන පිරිස්ද පුටු මේස තැන තැන ගොඩගසන පිරිස්ද වැඩපල වල නිරත වන අයට තේ පැනින් සංග්‍රහ කරන පිරිස්ද වැඩපල වල නිරත වෙමින් වහසි බස් දොඩවන්නෝද බොහෝ වැඩ කරන බව පෙන්නා කිසිවක් නොකරන සරීර හොරුද යන එකී නොකී පිරිස දෙස බලමින් මරණයෙන් අස්වැසිල්ලක් ලද සියාතු බණ්ඩා අඹ ගස මත නිදහස් සුවය විඳින අයුරු කිසිවෙක් නොදුටුවේය.

මින් වසර විසි නවයකට පමන පෙර දිනක මෙම ඉඩමෙහි පදිංචිය සඳහා පැමිණි සියාතු බංඩා හා පබිලිනා හාමිට ඒ වන වි සිටියේ එක දරුවෙක් පමණි. සිරිලාල්ගේ වයස ඒවන විට අවුරුදු එක හමාරක් පමන වන්නට ඇත. පබිලිනා හාමි පෙලවහට ගෙන ඇයගේ නිවසේම කල්ගෙවූ සියාතු බන්ඩාට මෙම ඉඩම දුන්නේ ඔහුගේ මවගේ පාර්ශවයයි.

"ගෑනිගෙ ගෙදරම ලැගගෙන උන්ට බැල මෙහෙවර කං කර කර ඉන්න ලැජ්ජ නැද්ද බං.. අර කොස්කඳ ආරෙ තියෙන උඹලගෙ අම්මට අයිති ඉඩමෙ පැලක් අටව ගෙන ඒකට යමං.. එතනම දෙනිපෙතේ නියරවල් ටිකක් බැඳල කුඹුරු කෑල්ලක් අස්වද්ද ගන්න උඹට බැරි කමක් නෑනෙ .."

සියාතු බන්ඩාගේ ලොකුමාමා වන සිඤ්ඤප්පු උන්දෑගේ අනු දැනම මත මෙම ඉඩමට ආ දා සිටම මහ පොළොව හා පොර බැදූ තමා යහපත් මිනිසෙකු ලෙසින් ගත කල කාලය පිළිබඳව ඔහුට සිහිපත්වේ. එහෙත් උපතින්ම ගෙනා ආරේ ගති අත් නොහැරිය පබිලිනා හා ගෙවූ යුග දිවිය නම් එතරම් යහපත්වූයේ නැත. තමා කරන කියන කිසිවක හොඳක් නොදුටු ඇය තනිකරම එරමිණියා ගාලකි. ඒ ආරවුල් අඬදබර මැදම තවත් දිණියන් දෙදෙනෙකු පවුලට එකතු උනේය. සිරිලාල් හදන්නටම බැරි එකෙක් වූ හෙයින් යන්තම් ගැටයා කාලයේ සිටම කැදැල්ලෙන් මිදී නන්තාරව සිටියේය. කාලයාගේ ඇවෑමෙන් බජාර් එකේ පොරක් බවට පත්වූ ඔහු මේ වන විට ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ ආරක්ෂකයෙකු ලෙස නොයෙක් අකටයුතු කම් වලට උර දෙමින් සිටී. සිරිලාල්ට අකමැති අය සේම කැමති පිරිසක්ද ගම තුළ සිටින හෙයින් තම අවමඟුල් කටයුතු හොඳින් සිදුවෙනු ඇතැයි සියාතු බන්ඩාට සිතේ. කොයි මෙහොතක හෝ තම පුතා සිය ගෝල බාලයින්ද කැටුව මෙතනට කඩා බිඳගෙන පැමිනෙනු ඇත. ඉන් පසු ඔහුට ඕනෑ පරිදි සියල්ල සිදුවෙනු ඇත.

යළිත් පබිලිනාගේ විලාපය අලුත් වී ඇසෙන්නට වුනි. එහි ශෝකාකූල බව තවත් වැඩිවී තිබුන අතර ඒ සඳහා යොදා ගන්නා බාසා විලාසයද ඇයගේ කටට නුහුරු බව වසර තිහකට ආසන්න කාලයක් ඇය හා ගතකල සියාතු බන්ඩාට දැනේ.

'කවුරු නමුත් විශේෂ කෙනෙක් ඇවිල්ල ඇති...' සියාතු බණ්ඩා විලාඩ් අඹ ගහමතින් ගොස් සාලයේ පහසුවෙන් සිටිය හැකි තැනකට විය.

කලක් විදේශ රටක සේවය කොට ළඟදී ආපසු පැමිණි පද්මාවතී අඳුනා ගන්නට සියාතු බණ්ඩාට බොහෝ වේලාවක් ගතවුනි. ඇය සහමුලින්ම වෙනස්ය. ගතේ හැඩය පැහැය කතාවිලාසය.. බාසාව හසුරන විදිහ අනුව මේ පද්මාවතීම ද ඒත්තුගන්වා ගැනීමට තවත් හෝඩුවාවල් සොයමින් සිටි ඔහුට එක වරම තිරිංග තද කරමින් නවතන ලද වාහන කීපයන හඬ ඇසුනි. ගෙතුලට කඩා වැදුනේ සිරිලාල් ඇතුලු ඔහුගේ අනුගාමිකයින් පිරිසකි.

"අනෙ අපෙ අම්මේ... අපෙ අප්පච්චිට මොකක්ද මේ උනේ....!"

අම්මා පුතාව තදින් බදාගෙනය .. මවගේ උරහිස මත මුහුණ හොවා ගෙන අඬන්නට කඳුළු හොයන තම පුතා සියාතු බන්ඩාට පැහැදිළිවම පෙනේ.. මේ විදිහට තම පුතාගේ මුහුණ සමීපව දුටුවේ වසර ගණනාවකට පසුව බව ඔහු මතක් කලේය.

ගැබිනි මවුවරුන්ගේ හා කුඩා දරුවන්ගේ සෞඛ්‍ය කටයුතු සොයා බැලීම බර කිරීම ත්‍රීපෝෂ බෙදා දීම ආදී කටයුතු සිදුකරන ශාලාවේ අලවා තිබූ දේශපාලන පෝස්ටරයක් ගලවාදැමීම හේතුකොට ගෙන එකල සේවය කල සෞඛ්‍යනිලධාරිනියට සත්තමක් දැමීමට ආ පිරිස අතරේ තම පුතා සිටි බව සියාතු බන්ඩාට මතකය. ඒ පුතා අවසාන වතාවට දුටුව දිනයයි. එයද සිදුවී වසර තුන හතරක් ගතව ඇත. තම දෙමාපියන් උන්නාද මළාද කියා සොයා නොබැලූ සිරිලාල් මේ මොහොතේ සිය මව බදාගෙන පියාගේ වියෝව දරා ගත නොහැකිව වැලපේ.

'මගෙ අම්මෝ මෙහෙමත් රඟපෑම්..
අම්මයි පුතයි දෙන්නම එකයි... ඉන්නකම් ටොපියක් තරම්වත් දෙයක් දීලයැ... කමක් නෑ උඹ මගෙ ලෙයින් මසින් හැදුන එකානෙ..'
පුතා කෙරේ තම සිත තුල අපැහැදීක් ඇතිවෙනවාට අකමැති වූ සියාතු තම මළගමට සහභාගී වීම සඳහා පැමිණ සිටින පිරිස අතරේ අරමුණකින් තොරව සැරිසරන්නට විය.

නිවස පිටු පසද බොහෝ පිරිසකි. පසෙක ගිනි දළු දම දමා ඇවිලෙන ලිප මත පැහෙන වතුර මුට්ටියකි. ගම් වැසියන්ගෙන් හා මරණාධාර සමිතියෙන් ලද ආධාර මත මේසය උඩ ගොඩ ගැසුන සීනි තේ කුඩු හා බිස්කට් පෙට්ටිය. නන්දලතා පද්මිණී නිලංගනී ආදී තමා දන්නා හඳුනන ගැහැණුන් රැසක් ⁣සංග්‍රහ කටයුතු වල නිරත වීඇත.

අපරාදෙ කියන්න බෑ මේ ගමේ විතරක් නෙවෙයි අහළ පහළ ගමක මළගමක් උනත් ඔය කීප දෙනා එතන ඉන්නව... වැඩ කරනවාට වඩා කියවන්නට හපන් කමක් දක්වන ගැහැනු ගොඩ අතරේ සිටින විට කාලය යන බවක් නොතේරෙන හෙයින්.. සීතලවූ තම කය දැල්වෙන ගිනි දළුවලින් උණුසුම් කර ගැනීම සඳහා සියාතු බන්ඩා ⁣ලිප අසලින් ඈඳි ගත්තේය.

දෙදිනක් ගතවී එළඹුනු තුන්වැනි දිනය ඉතා කලබලකාරී එකක් විය.
පැමිණ ඇති පිරිසට දිවා බෝජනය සකසා දීමට බොහෝ පිරිස් වෙහෙසේ.  පසෙක අවමඟුල් උත්සව අවස්තාවේ බෙදා දීම සඳහා රසවත් බීමක් සැකසෙමින් ඇත. සියල්ල කඩිමුඩියේ සිදුවේ. පස්වරු එකයි විනාඩි දෙකට මිණිය ගෙයින් එළියට ගතයුතුව ඇත. බැදෙන පොරි සුවඳට ඉව අල්ලමින් සිටි සියාතු මැද සාලයට ගොස් තම මිණිය අසලින්ම හිට ගත්තේය....

"හරි එහෙම නම් දැන් වෙලාව හරි මිණිය එළියට ගන්න.."

අවමඟුලේ කටයුතු ඇරඹුනි.

යතාවාරී බහා පූරා.. පරිපූරෙන්තු සාගරං... ස්වාමීන් වහන්සේ දෙසන ගාතාවට අනුව යමින් බඳුන පිරී ඉතිරී යනලෙස පැන් පුරවන අය අතරේ සිටින අය ගැන සියාතු බන්ඩා විමසිලිවත් විය.

'නිමල සේනයත් ඉන්නව.. ඕක බලාගෙනමයි හිටියෙ මෙහෙම දෙයක් වෙනකං ගෙට රිංග ගන්න. මොනව කරන්නද...? ලොකු එකී කැමතිනං.. හැබැයි මම පණ පිටින් හිටියනං කීයටවත් ඕක කරන්න දෙන්නෙ නෑ..' පණපිටින් සිටි කාලයේ නොතිබුන චන්ඩි කමක් සියාතු තුල පහළ වී තිබුනි ඒ මරුවා වැහුන හෙයින් වන්නට ඇත.

පාංශුකූලයේ වතාවත් නිම කල වැඩම සිටි ස්වාමීන් වහන්සේ තම අනුශාසනාව ආරම්භ කලේය. වැඩම කොට සිටි හිමි නම තම ගමේ පන්සලේ හිමිනමක් නොවීම පීළිබඳව සියාතු බණ්ඩාට බොහෝ දේ සිතුනි.' ඇයි අපේ හාමුදුරුවො නාවෙ.. සියාතු බණ්ඩ කියන්නෙ කවුදැ කියලවත් නොදන්න හාමුදුරු නමක් කොහොමද මම ගැන ගුණ කතන කරන්නෙ. අපේ හාමුදුරුවො හිටියනං උන් වහන්සෙ දන්නව මම උන් වහන්සෙට කොයි තරම් ලැදියාවෙන් කටයුතු කල කෙනෙක්ද කියල..'
පබිලිනා ඔතාදුන් මුවමස් ඌරු මස් ව්‍යාංජන
කිසිවෙකුගේ ඇස නොගැටෙන ලෙස හාමුදුරුවන් අතට පත් කල වාර ගණන මෙතෙකැයි කියන්නට ඔහුට මතක නැත.

"මූත්තරා දැවිල්ල ඉව වහ ගිහිල්ල සියාතු උන්නැහෙ... බැරිද මට තැඹිලි වල්ලක් කපල දෙන්න..?"

"සියාතු උන්නැහෙ.. ඔය කැලේට ගිය වෙලාවක මට හොඳ වෙනිවැල් ගැට කෑල්ලක් කපල ගෙනත් දෙනවකො.."

මෙකී නොකී උවමනා එපාකම් රැසක් කරදීමට උදවු උන සියාතු බණ්ඩා උපාසක මහතා ගැන ගුණකතනයක් කිරීමට ඔහුගෙ අවසන් අවමඟුල් උත්සවයට ලොකු හාමුදුරුවන් වැඩම නොකල එක පිළිබඳව ඔහු තුල හට ගත්තේ දැඩි කනස්සල්ලකි. ඒ ඔස්සේ හිත ගිය බැවින් නන්නාඳුනන සවාමීන් වහන්සේ කරන ගූණ කතනය මෙතෙක් ඔහුට ඇසුනේ නැත.

"මේ මහත්තය මම මුලින්ම අඳුන ගත්තෙ අපේ ප්‍රදේශයේ මුල් පුරවැසිය එහෙම නැත්නම් ප්‍රාදේශීය සභාවෙ සභාපති තුමා මුණ ගැහෙන්න ගිය දවසක. අනික් නෝනල මහත්තුරු සියල්ලෝම වාඩි වෙලා ඉද්දි ඉඳගෙන හිටිය තැනින් නැගිටල ඇවිත් මගෙ දෙපා වැඳල මාව කෙලින්ම සභාපති තුමා ගාවට වඩමවා ගෙන ගියෙ මේ මහත්තය.. ඒ විතරක් නෙවෙයි පාරතොටේදි කොහෙන් දැක්කති අත උස්සල සැලියුට් කරන්න තරම් මේ මහත්තයට මාව මතකයි. දවසක් මම අපේ පන්සලේ ඉඳල අසල් වැසි පන්සලකට ගිනි අව් කාස්ටකේ වඩින කොට මගෙ හොඳවෙලාවට සභාවෙ කැබ් එක ආව.. මේ මහත්තයත් ඒකෙ හිටිය. මාව දැක්ක විතරයි අපෙ හාමුදුරුවනේ වඩින්න ඕන කොතෙන්ටද?   ඇයි මෙහෙම පයින්ම ගමන් යන්නෙ ..? මා ගැන දුක්වෙලා මාව යන්න ඕන තැනට ගිහින් ඇරිය.
ඉතින් ඒ වගේ ගුණ ගරුක රටට වැඩදායී අනාගත නායකයෙකුගේ ගති ලක්ෂන දැනටමත් විදහා දක්වමින් සිටින සිරිලාල් මහත්තයො..
අඬන්න එපා..
දුක් වෙන්න එපා... ජීවතුන් අතර ඉද්දි මවු පියන්ට ඇති තරම් සලකන්න ඕන .. මම හිතන්නෙ මේ පුතා තමන්ගෙ අප්පච්චිට ඒ යුතුකම් නොපිරිහෙලා ඉෂ්ට සිද්ධ කලා..
ඒ පින මේ සිරිලාල් මහත්තයට හොඳටම ඇති හොඳ ලෝකෙක උප්පත්තිය ලබන්න ඒ පින මතුයම් දිනක මෙතුමාට හිමි වේවා.....
කියල කවුරුත් එක්කල සාදු කාරයක් දෙන්න.."

සියාතු බණ්ඩාට සිනා ගියේ නැත. සිනා ආවේය. පෙට්ටියේ සතපවා ඇති තම මළ කඳටත් සිනායන්නට ඇතැයි සිතූ සියතු බණ්ඩා අවසන් වරට මිණිය දැකගන්නාතුරු නොයිවසිලිමත් විය. ඒ මිණියටත් හිනා ගියාදැයි නිසැකවම දැන ගන්නටය.


Nissanka Rajapaksa

unread,
Sep 19, 2024, 8:38:22 PM9/19/24
to INDRAKA group
22
ඉපදීම 

- ඩියෝන් මිතිල ප්‍රනාන්දු 

 මොර සූරන වැස්ස යැයි කුඩා කල සිංහල පොතේ කියෙව්වද එය දැක්කේ අද ය. අධික වර්ෂාව නිසා ලඟ සිටින පුද්ගලයාවත් පෙනෙන්නේ නැත. එතරම් ධාරානිපාත වර්ෂාවක් අප හමුවේ තිබේ. මම පාසල් ශාලාවට වී වැස්ස පහව යන තුරු බලා සිටියෙමි. ඒ අතර කවුරුන් හෝ මහ වැස්සේ ම ගස් අතරින් මේ දෙසට එන බව මට දකින්නට ලැබුණි. ඒ කවුරුන් දැයි හරිහැටි කිව නොහැකි වුවත් මේ වැස්සේ ම කුඩයක්වත් නොමැතිව මේ දෙසට එන්නේ කුමක් හෝ වැදගත් කාරණාවක් නිසා විය යුතුයි.


“අනේ පුතේ විගහට එන්නකෝ දුවට අමාරුයි. දැන්ම ම ඉස්පිරිතාලේ අරගෙන යන්න වෙයි” යැයි කීවේ ආයා අත්තම්මා ය. මේ ගමේ සිටින පවුල් දහය පහළොවෙන් කාගෙත් කරදරයක් වූ විට පළමුවෙන් ම එළිබහින්නේ ඇය යි. ඇයගේ ලේලිය ගැබිණි මවක් වන නිසා ඇය පැමිණි කාරණය මම වහා තේරුම් ගත්තෙමි.


“කලබල වෙන්න එපා අත්තම්මේ මම එන්නන්. මම සිරිල්වත් කතා කරගෙන එන්නන්. අපිට තනියම කන්දෙන් පහල බහින්න බැහැනේ”


“බුදු බව අත්වෙනවා පුතේ.. මගේ දුවට බොහොම අමාරුයි අනේ ඉක්මනට එන්න” 


වර්ෂාව නිසා මුහුණ වැසි ජලයෙන් තෙමී ගිය ද ඇයගේ කඳුළු හැංගුනේ නැත.


“අත්තම්මේ මේ කුඩෙත් අරගෙන දුව ගාවට යන්න. මම එන්නන්”


අත්තම්මා කුඩෙත් රැගෙන කලබලයෙන් දිව ගිය ද ඇයට කුඩය ඉහළ ගැනීමට නිච්චියක් වූයේ නැත. ඇයට දැන් අවශ්‍ය වන්නේ හැකි ඉක්මනින් තම දුවව ඉස්පිරිතාලයට රැගෙන යාම යි. දුව හත් මසක දරු ගැබක් ඇති ගැබිණියකි. ඇයව කන්දෙන් පහල පිහිටි ඉස්පිරිතාලයේ නැවැත්වීම ගැන ගිය සුමානේ අත්තම්මා අපත් සමඟ කතා කල ද මේ වර්ෂාව නිසා එය කල් ගියේ ය. මේ ගමේ ඉස්පිරිතාලයක් තියා හදිස්සියකට තුවාලයක් වූ විට බෙහෙත් දමන්නටත් තැනක් නැත. දැන් අවශ්‍යතාව ගිනි පෙත්තටම නැග අවසන් ය.


මම සිරිල්වත් තව කොල්ලෝ දෙදෙනෙක්වත් කතා කරගෙන ආයා අත්තම්මාගේ නිවසට දිව ගියෙමි. ඇය අප එනතුරු කටු මැටි නිවසේ කකුලේ ඇඟිලි වලින් ඉස්සි ඉස්සී බලා සිටියා ය. 


“මහත්තයෝ දුවට ඇවිදගන්න අමාරුයි.. දැන් මොකද කරන්නේ?” අප නිවසට ඇතුලු වත්ම අත්තම්මා පවසා සිටියා ය. ඒ අතර මහ වැස්සේ ශබ්දය පරයා යමින් නිවස තුලින් දුව වේදනාවෙන් කෑ ගසන ශබ්දය අපට ඇසේ.


“තවත් බලන් ඉන්න බෑනේ. අපි මෙයාව උස්සගෙන යන්නම්. දුවව රෙද්දකින් හොඳට පොරවන්න” යැයි කී සිරිල් අපව කැඳවගෙන නිවස තුලට ගොස් ඇයව ඔසවා ගත්තේ ය.


ඇයවත් රැගෙන අපි මහ වැස්සේ කන්දෙන් පහලට යාමට පිටත් වුනෙමු. දුෂ්කර ම කාර්යය එය යි. අප දැන් සිටින්නේ උඩගල දෙබොක්ක ග්‍රාමයේ ය. පහල ඇති උඩත්තව ගමට යාමට නම් කැලයක් මැද්දෙන් කිලෝමීටර් හතක පමණ කන්දකින් පහලට යා යුතු වේ. දැන් අපට එය සිදු කිරීමට ඇත්තේ මහ වැස්සක් අතරතුර යි. ඇරත් දැන් දැන් අඳුරත් වැටීගෙන එයි. අලින් නිතර නිතර ගැවසෙන ප්‍රදේශයක් බැවින් හවය හය පසු වූ විට කිසිවෙක් නිවසින් බැහැර වන්නේ නැත.


අත්තම්මාගේ පුතත් නැති වූයේ රෑක කන්ද පහලට යෑමට ගොස් අලියෙක්ගේ පහර කෑමට ලක් වීමෙනි. ඒ මාස හතරකට පමණ පෙර ය.


“පරිස්සමෙන් ඔතන බෑවුමක් තියෙන්නේ” ඇයව ඔසවාගෙන සිටි සිරිල් කීය. සතිපතා කන්දෙන් එහාට මෙහාට ගොස් සිරිල් හොඳ පුරුදුකාරයෙක් වුවත් අඳුරත් වැස්සත් ඔසවාගෙන සිටි ගැබිණියත් නිසා මෙය අතිෂය අපහසු දෙයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.


ගමනේ ටික දුරක් ගිය විට අත්තම්මා මට කතා කරමින් “පුතේ මට රිපෝට් කාඩ් ටික ගේන්න අමතක වුනානේ. මම ගිහින් ඉක්මනට අරගෙන එන්නන්” යැයි කීවා ය.


“ඕක ඕන්නෑ අත්තම්මේ දැන් ඔයා තනියෙන් යන්න එපා”


“නෑ නෑ මම විගහට ගිහින් එන්නන් ඔයාලා යන්න”


“එක්කෝ මට කියන්න තියෙන තැන මම යන්නන්”


“ඔයා මගේ දුව ගාවින් ඉන්න. සිරිල්ටත් අමාරු ඇතිනේ. ඔයාලා මාරුවෙන් මාරුවට උස්සගෙන යන්න. මම ගිහින් එන්නන්” යැයි කියූ ඈ මට කිසිවක් කීමට ඉඩ නොදී නැවත කන්ද නැග අපට නොපෙනී ගියා ය.


වැස්ස නිසා අඩි පාර ලිස්සෙන සුළු ය. අප පස් දෙනා හීන් සීරුවෙන් අඩිය තබා කන්ද පහලට ගියේ අයියානායක දෙවියන්ට කන්නලව් කරමින් ය. ඒ අතර විටින් විට අලින්ගේ කුංචනාදය ද අපට ඇසෙයි. 


අඳුර විසින් කැලෑව වසා ගනිද්දිම අපිට නිරුපද්‍රිතව පහල ගමට ඒමට හැකියාව ලැබුනි. ගමේ ත්‍රීවීල් එකක සිරිල් ඇයව ඉස්පිරිතාලයට එක්කරගෙන ගියේ ය.


මම ඉස්පිරිතාලයට යන විට එළිය වැටී තිබුණි. ඉතා සතුටින් අලුත උපන් දරුවාටයි අම්මාටයි අවශ්‍ය කලමනා රැගෙන මම වාට්ටුව දෙසට ගියෙමි. වාට්ටුව ඉදිරියේ පුටුවක ඉඳගෙන ඔලුව නමාගෙන සිටි සිරිල් මා එනවා දැක නැගිට්ටේ ය.


“ළමයා හම්බුනාද මාමේ?” මම සිනාමුසු මුහුණින් ඔහු වෙත දිව යමින් අසා සිටියෙමි.


“ළමයා හම්බුනා. පුතෙක්. නිලේකා නැතිවුනා බං.” සිරිල් මගේ පිටට තට්ටුවක් දමා වාට්ටුවෙන් එළියට ගියේ ය.


කරන්නේ කුමක් දැයි කියන්නේ කුමක් දැයි නොතේරුනු මම එතැනම ඉඳ ගත්තෙමි. ඒ අතර නිලේකාව බලන්නටැයි කියා උඩහා ගමේ දෙදෙනෙක් පැමිණියේ ය.


“ඊයේ රෑ ආයා අත්තම්මා ඇවිත් කිව්වා දුවට අමාරුවෙලා මෙහාට ගෙනාවා කියලා. දුවට කොහොම ද?”


“නැන්දා නැතිවුනා මාමේ. පුතෙක් ලැබුනා.”


“දෙයියනේ මොන වින්නැහියක්ද මේ. ආයා අත්තම්මා දුකින් ඇත්තේ. කෝ එයා?”


“ඇයි අත්තම්මා ඔයාලත් එක්ක ආවේ නැද්ද?”


“නැහැ, අපිත් එක්ක ආවේ නැහැ. අපි ඊයේ රෑ එපා කියද්දිමයි කඩදහි වගයක් පපුවට තුරුල් කරගෙන අර මහ වැස්සේ කන්ද පහලට බැස්සේ



Nissanka Rajapaksa

unread,
Sep 20, 2024, 8:23:50 PM9/20/24
to INDRAKA group
23
මතක මං පෙත් 

- පවිත්‍රා අභයවර්ධන

“නංගි ඔයා නිදිද?”
කාමලී උඩ තට්ටුවට ආවේ එහෙම අහගෙන.
අම්මගේ අවමංගල්‍යයට සහභාගි වෙන්න දින කීපයකට කළින් ඇමරිකාවේ ඉඳලා ආව රාජිකාට තවම වෙලාව වෙනස් නිසා එන නිදිමත තියෙනවා. නමුත් එන නෑ මිත්‍රයන්ට කතා කරන්න පහළට බහින නිසා දිගට නිදා ගන්න වෙන්නේ නෑ.
“නෑ අක්ක, මං පොඩි වැඩක හිටියේ. ළමයෙක්ගේ රිසර්ච් පේපර් එකක් රිවීව් කරනවා. ඇයි?”
ඇඳ උඩ එරමිණියා ගොතාගෙන හිටිය රාජිකා ඔලුව උස්සලා බැලුවා. හදිසියේ එන්න උන නිසා පර්යේෂණ කණ්ඩායමේ වැඩ ඔක්කොම මෙහෙ ඉඳලා බලන්නම් කියල තමයි එන්න උනේ. සති කිහිපයකින් තමන්ගේ විශ්ව විද්‍යාලය මූලික වෙලා කරන සමුළුවක්. පර්යේෂණ කණ්ඩායමේ දෙන්නෙක් ආචාර්ය උපාධි අවසන් කරන පියවරට ළඟා වෙලා. තවත් ශිෂ්‍යයො විවිධ සමුළුවලට, ජර්නලවලට ඉද්රිපත් කරන පත්‍රිකා, ඉදිරිපත් කිරීම් බලන්න, විශ්ව විද්‍යාලෙ පරිපාලන රැස්වීම්, එක එක වැඩ.
අම්මාගේ අවසන් කටයුතු පෙරේදා ඉවර වෙලා තමයි මේ ඔක්කොටම හිත යොමු කරන්න ලැබුණේ.
කාමලී උත්තර දුන්නේ නැති නිසා රාජිකා ඔලුව උස්සලා බැලුවා.
“ඇයි අක්කේ?”
“නංගි, සාරංග කෝල් කළා. දුවගේ ඕ ලෙවල් විභාගෙ ඊයෙ වෙනකම් තිබුණ නිසා මළගෙදර එන්න වෙලා නෑ. දැන් එනවා කියන්න.”
ඇස්වලින් පටන් අරන් රාජිකාගේ මුළු මූණම, ඇඟම ඒ වචනත් එක්ක වෙනස් වෙනව කාමලී බලන් හිටියා. එතන හිටියේ මහාචාර්ය රාජිකා උනම්බුව නෙවෙයි. වෙන බොහොම දුර්වල සත්වයෙක්.
“අක්කට කොහොමද සාරංග කතා කරන්නේ? අක්කගෙ නම්බරේ එයා ළඟ තියද? කළිනුත් කතා කළාද? මං ගැන ඇහුවද?” ඔය කිසි දෙයක් රාජිකා ඇහුවේ නෑ.
මළ ගෙදරට කට්ටිය එන ගානේ මේ මොහොතට කොයි වෙලේ හරි මූණ දෙන්න වෙයි කියල රාජිකා දැනගෙන හිටියා. සමහර සරසවි මිතුරොත් මළ ගෙදර ආව. “සාරංගටත් පණිවිඩේ කිව්ව. එයි” කියල ළඟම යෙහෙළියෝ දෙන්නෙක් ආව වෙලාවල කිව්වමත් රාජිකා මුකුත් නොකියා කතාව මාරුකළා.
“මං හදිසි මීටින් එකක කියන්න අක්කා. අක්කා කතා කරලා යවන්න”
රාජිකා ආයෙ පරිගණකයට ඔලුව ඔබාගත්තා. එක පාරට ආයෙ ඔලුව ඉස්සුවා. ගිහින් බිම තිබුණ ගමන් බෑග් එකෙන් බර ෆයිල් එකක් ගත්තා.
“අක්කෙ මේ ෆයිල් එක සාරංගට දෙන්න. මේකෙ මම කරපු වැඩ ගැන පත්තරවල, වෙබ්වල ගිය ඔක්කොම ආර්ටිකල් තියෙනවා. මං එකතු කළා කවදහරි සාරංගට පෙන්නන්න”
“ඉතිං ඔයාම දීලා වචනයක් කතා කරලා යන්න”
“බෑ අක්කා. ප්ලීස්”
යමක් කියන්න කට ඇරපු කාමලී ආයෙ කට වහගත්තා. ජීවත් වෙලා ඉන්න කාලෙ කොච්චර අම්මයි නංගියි කුළල් කා ගත්තත් අම්මගේ තියෙන තද හිතම නංගිට තියෙන බව කාමලී දන්නව. බෑ කිව්වොත් බෑ තමයි.
----------------------------------
සාරංගගෙ තියෙන මනුස්සකමට මිසක් තමන්ගේ අම්මගෙ මළ ගෙදර එන්න කිසිම උවමනාවක් නෑනෙ. තමන්ගේ ගෙදරට සාරංග ආව වෙලාවෙ පුලුවන් තරම් අපහාස කරලා අම්ම යැව්ව හැටි මතක් වෙද්දි තාම කාමලීගෙ ඇඟ හිරි වැටෙනවා වගේ.
කාමලී මුකුත් නොකියා හැරුණා.
දුවට ඕ ලෙවල් උනාට විභාගෙ ලියන්නේ සාරංග නෙවෙයි නේ. ළමයව ඉස්කෝලෙ දාලා දුවල එන්න බැරි දුරක නෙවෙයි දෙගොල්ලො ඉන්නේ. මළ ගෙදර කලබල මඟ ඇරලා එන්නේ මොකටද කියලා කාමලීට හිතා ගන්න බැරි නෑ.
අනික එහෙම එන එක කාමලී වැරැද්දක් කියලා හිතන්නෙත් නෑ.
කාමලී කොච්චර අම්මට අවනත දුවෙක් උනත් සාරංගගෙයි රාජිකාගෙයි සම්බන්ධෙට අම්මා විරුද්ධ වෙද්දි කාමලී ඒ වෙනුවෙන් කතා කළා. ඒත් අම්මා වෙනස් උනේ නෑ.
“රජ උනත් හකුරු සුදු වෙනවයැ. ඔය රජ කාලෙ හරියට බලලා තමයි ඔය කුල මළ දාලා තියෙන්නේ. ඉතිං කරගන්න කියපං. හැබැයි මේ අම්මා නෑ කියලා හිතාගෙන මේ පැත්තේ ආයෙ පස් පාගන්නෙ නැතුව ඉන්න බලාගෙන”
අම්මා කිව්වේ කාමලී ගිහින් නංගිට උදව්වට සාරංගගෙ පවුල ගැන, සහෝදරයොත් ඉගෙන ගෙන තියෙනවා අරක මේක කියන්න ගියාම. රාජිකාත් එතකොට හිටියේ ඒ ඇහෙන මානෙ. අම්මගෙ කතාව ඉවර වෙලා කාමලී නංගිගෙ මූණ බලද්දි ඒ මූණ මළ මිනියක වගේ මස් පිඬු මූණ තද වෙලා තිබුණා.
ඒ රාජිකා කැම්පස් එකෙන් අවුට් වෙන්න ළඟදි.
සාරංග රාජිකා එපාම කියද්දි ගෙදර ආවෙ ඊට මාස ගාණකට පස්සේ කැම්පස් අවුට් වෙලා රස්සාවත් කරද්දි.
සාරංග උස්සගෙන ආව බඩු ගොඩක් කණප්පුව උඩ තියලා බලා හිටපු හැටි, ඒ තරුණ ඇස්වල තිබුණ අවිනිශ්චිත ගතිය, තමන් අම්මා පස්සෙන් ඇවිත් ඉන්නවා දැකලා සාරංගගෙ මූණෙ ඇඳුණු අසරණ හිනාව අවුරුදු විස්සකුත් පහු වෙලත් කාමලීට මතකයි.
තමන් කුමාරිහාමි කෙනෙක් කියලා කාමලී හිත යටින් ආඩම්බර උනා. ඕන තැනක ගිහින් නම අහද්දි “කාමලී ටිකිරි කුමාරි උනම්බුව” කිව්වේ හිතේ ආඩම්බරෙන්. ගොඩක් වෙලාවට උඩරට තැනකදි නම් ඒ නම කියවෙනවත් එකක්ම පොඩි විශේෂ සැළකිල්ලකුත් ලැබුණා.
ඒ උනාට සියළු යහපත් ගති තියෙන මේ කඩවසම් කොල්ලා කුලය නිසා පහතට වැටෙනවා දකිද්දි ඔය කිසි දෙයක් මොනවටද කියල කාමලීටත් හිතුණ.
අම්ම සාරංගට වාඩි වෙන්න කිව්වෙත් නොකියා බැරිකමට වගේ.
සාරංග කතාව පටන් අරන් ටිකක් කියාගෙන ගියා. අම්මා අහක බලාගෙන වගේ ඉදලා ඒක පාරම ඇහුවේ “ඔය ළමයගෙ වාසගම මොකද්ද?”
කාමලී කරකියාගන්න දෙයක්නැතුව බලං හිටියා.
සාරංග නම කිව්වෙම අම්මගෙ මූණෙ සමච්චල් හිනාවක් මැවුණා.
“ඔය ළමයගෙ වරදක් නෑ. අපේ කට්ටිය දැන ගන්න ඕන තමන්ට ගැළපෙන දේවල් කරගන්න. එයාලට පොඩි කාලෙ ඉදන් ඕව කියල දීලා තියෙන්නේ. තරහ වෙන්න එපා. මේකට කොහොමටවත් කරන්න බෑ. අපේ මැරිච්ච මිනිසුස් වලවල් වලිනුත් නැගිටියි මේක කරන්න දුන්නොත්”
සාරංග කට අරින්න හදද්දිම රාජිකා වේගෙන් ගේ ඇතුලේ ඉදන් ආව.
“ඔයා දැන් යන්න සාරංග. ඔයාට මම එන්නත් එපා කිව්වේ ඒකයි.”
සාරංග ගියාට පස්සෙ රාජිකා අම්මත් එක්ක හරි හරියට කියවගත්තා. අම්මා කිව්වෙම “කරගනිං, හැබැයි මගේ මරණෙටවත් ඕකට මේ හතර මායිම පනින්න බෑ” කියල.
සාරංග ඉඳගෙන හිටපු පුටුව දිහා බලල “ඔය ජාතියේ එකෙක් මේ පුටුවක ඉඳගත්තම වෙන්න ඇති, නැත්නං ඔවුන් ගොඩවෙන්නේ අපේ පිළිකන්නෙං, ඉඳගන්නෙ ලොවි බංකුවෙ” කියල අම්ම කියද්දි කාමලී බය උනේ රාජිකා පුටුව උස්සලා පොළවේ ගහයි කියල.
ඒත් එහෙම උනේ නෑ. රාජිකාගේ මූණ ආයෙත් තද උනා.
දවස් ගාණක් සාරංග ගෙනාව බඩු කණප්පුව උඩ තිබුණා. කවුරුත් අල්ලන්නෙ නැතුව. අන්තිමට රාජිකා ඒ ටික අරන් ඇවිත් තමන්ගෙ කාමරෙන් තියාගත්ත. ඒක මේ සිද්ධි ඔක්කොම වෙලා සෑහෙන කලක් යනකම් කාමලීගෙත් හිත සෑහෙන රිද්දපු මතකයක්.
දවස් ගාණක් මූණක් කටක් හරියට නොසෝදා, නොකා නොබී ඉඳලා රාජිකා තීරණයක් ගත්තා.
“නෑ අක්කෙ මමයි වැරදි. මමයි අර කොහෙවත් ඉන්න අහිංසකයෙක්ව මේකට පටල ගත්තේ. අපේ අම්මලගෙ හැටි දන්නෙ මමනෙ. සාරංග ඇහුවම මට බෑ කියන්න තිබුණා. ඒත් මට හිතුණා සාරංග වගේ කෙනෙක් මට ජිවිතේට හම්බෙන එකක් නෑ කියල. මට බෑ කියන්න ලෝබ හිතුණා.”
ඊට පස්සේ හැමදේම උනේ බොහොම වේගෙන්. සාරංග එක එක විදි වලින් රාජිකාව හම්බ වෙන්න උත්සාහ කළත් ඒකට ඉඩ නොලැබුණ බව කාමලී දැනගෙන හිටියා. මේක හරියන සම්බන්ධයක් නෙවෙන නිසා පැත්තකට වෙලා ඉන්නවා ඇරෙන්න කාමලීටත් වෙන කරන්න දෙයක් තිබුණේ නෑ.
“මට පිටරට රස්සාවක් ලැබුණා. ලබන මාසෙ යනව”
ගහෙන් ගෙඩි එන්නා වගේ දවසක් රාජිකා කිව්වේ අම්මයි කාමලීයි දෙන්නම ඉන්න තැන.
“අපේ ගෙවල් වල ගෑණු බඳින්න කලින් ඔහොම යන්නේ නෑ, යන තැනක බැඳලා පලයං” අම්ම මන්තරේ වගේ කියපුවා රාජිකා කණකටවත් ගත්තේ නෑ.
අන්තිම මොහොතේ යනවා කියන්න වඳිද්දි ඇරෙන්න අම්ම එක්ක කතාවට ආවෙත් නෑ.
-----------------------------------
ඒ ගියපු ගමන අවුරුදු විසි ගාණක් රාජිකා ලංකාවට ආවේ අතේ ඇඟිලි ගාණටත් අඩුවෙන්. කාමලීගේ මඟුලට එද්දි සාරංගත් වෙන කෙනෙක් බැඳලා.
“ශෝබලගෙ පවුලෙ අයයි ශෝබයි සාරංගට සළකන්නේ දෙයියන්ට වගේලු. එයාලට හොඳට සල්ලි තියෙනවා. ඒත් කවුරුත් දුරට ඉගෙන ගෙන නෑ. පේරාදෙණියෙ ලෙක්චරර් කෙනෙක් කිව්වම ඒ මිනිස්සුන්ට රජ කෙනෙක් වගේ.”
රාජිකා අක්කට කිව්වේ ආපහු යන්න ලෑස්ති වෙලා බඩු අස් කරද්දි. සරසවි මිතුරියක් ඇවිත් කතා කර කර ඉඳලා ගියාට පස්සේ.
“සාරංග හොඳ කෙනෙක්නෙ. කවුරු බැන්දත් හොදට ඉඳී. දැන් ඔයත් අම්මගෙන් පළිගන්න ඔහොම ගහක් ගලක් වගේ ඉන්නෙ නැතුව සුද්දෙක් හරි මොකෙක් හරි ඔයාට හරියන කෙනෙක් හොයාගෙන බැඳගන්න. අම්ම නොකිව්වට හරි හිතේ අමාරුවෙන් ඉන්නේ ඔයා තනියම ඉන්න එක ගැන. සාරංග ඉන්න වැඩසටහන් ටී වී එකේ එහෙම යනකොට අම්මගෙ මූණත් වෙනස් වෙනව. මං වෙලාවකට කියනවා මේ දෙන්න එකතු උනා නං කොච්චර දෙයක් කරයිද කියල.”
රාජිකා හිනාවුණා.
“ඔහොම නෙවෙයි සාරංග ලංකාවේ ජනාධිපති උනත් අම්මා ඔය කුල කතාව කියයි. මං අම්මගෙන් පළිගන්න නෙවෙයි අක්කෙ තනියම ඉන්නේ. සාරංග තමයි මේ ලෝකෙ හිටිය මට හරියන මිනිහා. දැන් මට එතනට වෙන කෙනෙක් හොයාගන්න බෑ. අනික මං පළිගන්නෙ මගෙන්මයි. මම නිසානෙ ඒ මනුස්සයාටත් නිකම් අපහාස විඳින්න උනේ”
කාමලී ළමයි හැදුවා, අම්මා ගැන බැලුවා ඔහොම අවුරුදු ගාණක් ගෙව්ව.
සිංහ ධේනුව වගේ හිටපු අම්මා ටික ටික නිශ්ශබ්ද වෙන හැටි බලං හිටියා. නැත්නම් ඉස්සර කාමලීල කෝප්යක් හරියට හේදුවේ නැතත් චූර්ණිකාව පටන් ගන්නේ “අනික් තැන්වල මිනිහා මැරිච්ච ගමන් ඉස්සෙල්ලම කුමාරිහාමිල කාර් එක විකුණනවා. හොරාට හොරාට වලව්වේ තියෙන පිත්තල බඩු, රිදී බඩු, පෙට්ටගං ටික විකුණනව. අන්තිමට ඉඩම් ටිකත් විකුණල අයට වැටෙනවා. උඹලගෙ අප්පච්චි නැතිවෙද්දි අපිට තිබ්බේ මේ ටිකයි හන්දිය කඩ පේළියයි විතරයි. දැන් උඹලට නෑයින්ගෙවත් අත පල්ලෙන් වැටෙන්නේ නැතුවඉන්න හම්බෙලා තියෙන්නේ මං පිළිවෙළට වැඩ කරපු නිසා. පිළිවෙළට වැඩක් කරපල්ලා.”
ඇත්තටම අප්පච්චි ඉන්න කාලෙ ගෙදරින් පිට තනියම අඩියක් නොතියපු අම්මා අප්පච්චි හදිසියේ නැතිවුණ ගමන් වෙනස්ම චරිතයක් වෙලා පවුල කරගහගෙන ඉස්සරහට ගියේ කාමලීලටවත් හිතාගන්න බැරි විදිහට. ඒ කඩ කාමර පේළිය කඩල අලුතෙන් හදවන්න, ඉඩම් බදු අරන් තේ වවන්න ඕව ඔක්කොම කළේ අම්මම හිතල. කිසි කෙනෙක්ගෙන් කතාවක් අහන්නෙ නැතුව.
කෙල්ලො දෙන්නෙකුත් කතාවක් හදන්නැතුව හදලා හොඳට උගන්නලා අම්ම රැජිණක් වගේ ඉද්දි තමයි රාජිකා සාරංගව පටල ගත්තේ. ඒක නැවතුණාම අම්මා හිතන්න ඇති ටිකක් කල් අඬලා දොඩලා රාජිකා ගැළපෙන එකකට කැමති වෙයි කියලා. ඒක උනේ නෑ. අම්මා වගේම තද හිතක් තිබුණ රාජිකා ලංකාවට ආව වෙලාවකවත් ඒ ගැන කතා කරන්න වත් දුන්නේ නෑ.
අන්තිමට අම්මා හිටියේ ලොකු යුද්ධයක් කරලා පැරදිච්ච කෙනෙක් වගේ.
කාමලී පැත්තකට වෙලා බලා ඉන්නවා මිසක් දෙන්නටම මුකුත් කියන්න ගියේ නෑ.
ඒත් අම්ම නැතිවෙනකම්ම රාජිකා ඈත රටක තනියම ඉන්නේ තමන් හින්ද කියල දුක් උන බව කාමලී දැනගෙන හිටිය.
--------------------
සාරංග බඩු ගොඩකුත් උස්සගෙන ගෙට ගොඩ උනා. කොණ්ඩෙ සුදු වෙලා, පොඩ්ඩක් මහත් වෙලා ඇරෙන්න ලොකු වෙනසක් නෑ. කාමලීට නුවර ටවුමෙදි දෙතුන් පාරක් හම්බෙලත් තියෙනවා.
“කොහොමද අක්කා. අනේ සොරි මළගෙදරට එන්න උනේ නැතුවට”
“ගොඩක් නෑයින්ටත් එන්න උනේ නෑ මල්ලි. පැය විසි හතරෙන් කළානෙ”
වල් පල් කතා කළාට සාරංග උත්තර දෙන්නේ සිහියෙන් නෙවෙයි. අන්තිමට බැරිම තැන වෙන්න ඇති “රාජිත් ආව නේද අක්කා?” කියල ඇහුවේ.
“අනේ ආව මල්ලි. හදිසියේ ආව නිසා මොනවද වැඩ ටිකක් තියෙනව කියල උදේම කොළඹ ගියා”
කාමලී කිව්වේ ගෙදරම හදිසි වැඩක් කරනව කියල කියන එක හරි මදි වගේ හිතුණ නිසා.
ටික වෙලාවකින් මළ ගෙදරට ගෙනාව කොඩි ගස් ගෙනියන්න කට්ටියක් ඇවිත් කාමලීට යන්න උනා.
කාමලීගේ ලොකු දුව සාරංගට කේක් පීරිසියක් අරන් ආව.
“කොහොමද දුව?” සාරංග කෙල්ලගෙන් ඉස්කෝලෙ ගැන, කැමති විෂයයන් ගැන කතා කළා. අම්මගෙයි අත්තම්මගෙයි පුංචිගෙයි කතා අහලම මේ කවුද කියල දැනගෙන හිටපු කෙල්ලත් ඇඹරි ඇඹරි කතා කළා.
“පුංචි කොළඹ ගියෙ නෑනෙ. උඩ ඉන්නව නේද?” ටිකකින් සාරංග ඇහුවේ අමුතු හිනාවකින්. ඔයාලගෙ පුංචි ගැන මම දන්නෙ නැද්ද කියන විදිහේ හිනාවක්.
කෙල්ලට කට උත්තර නැති උනා. සාරංග ගෙනාපු බෑග් එකෙන් බ්‍රවුන් පේපර් කවරයක් අරන් දුව අතට දුන්නා.
“කැෂූ නට් චොක්ලට් එකක්, මං ගියාට පස්සේ දෙන්න”
එද්දි තමන්ට ෆෙරෝ රොචර්ස්, කැඩ්බරි, ටොබ්ලරෝන් ගේන පුංචි යන්න කිට්ටුව තියාගෙන කන්න කියල කැන්ඩොස් කැෂූ නට් චොක්ලට් තොගයක් ගන්න හැටි දුවට මතක් උනා.
----------------
ටිකකින් කාමලී ආව ෆයිල් එකත් අරන්.
“මල්ලි රාජි මේක දීලා ගියා. එයා කරපු ඔක්කොම රිසර්ච්ස්ගැස්න පත්තරවල එහෙම ගියපුවා මේකෙ තියෙනවලු. ඔයාට බලන්න කියල”
සාරංග ෆයිල් කවරෙ උඩින් උඩින් පෙරලුවා. හුස්මක් හෙළලා ආයෙ අමුතු හිනාවකින් කාමලී දිහා බැලුව.
“මං මේක ගෙනියන්නං අක්කා. ඒත් මේව ඔක්කොම මාත් එකතු කරලා තියෙනවා ෆැකල්ටියේ ෆෝල්ඩර් එකක”
-------------
එදා රෑ ඔක්කොම වැඩ ඉවර කරලා තේ දෙකකුත් අරන් කාමලී නංගිගෙ කාමරේට ආව. අක්කටයි නංගිටයි හිතේ නිදහසේ මූණෙන් මූණ බලාගෙන කතා කරන්න උනේ නෑ අවුරුදු ගාණකින්. කළින් දෙපාරම රාජිකා එද්දි කාමලීගෙ ළමයි පොඩියි. අම්ම ලෙඩ ගාණෙ. ඉතින් විවේකයක් තිබුණේ නෑ.
දෙන්න ඔහේ වල් පල් කතා කළා. අන්තිමට සාරංග ගැන කතාවට වැටුණා.
“ඔයා රට යනව නං සාරංගව ගෙන්න ගන්න තිබුණෙනෙ. අම්ම උනත් පස්සේ ලොකු විරුද්ධයක් වෙන්නේ නැතුව ඉන්න තිබුණා. අපරාදෙ නංගි.”
“මොකටද අක්කේ? සාරංග කියන්නේ එහෙම හොර රහසේ පවුලකට බැ‌‌‌දෙන්න ඕන කෙනෙක් නෙවෙයිනේ. හොද වැදගත් අම්මල තාත්තල සහෝදරයො ඉන්න හොඳ කෙනෙක්. අනික අපේ පවුල්වල කවුරුවත් කොච්චර කල් ගියත් සාරංග දිහා බලන්නේ හිතේ කොස්සක් තියාගෙනනෙ. මොකටද එහෙම. දැන් එයාට නරකක් වෙලා නෑනෙ. ශෝබාත් හරි හොඳයි. දෙන්නා හොඳට ඉන්නවනෙ”
“ඒක නං ඇත්ත. ඒ උනාට ඔයා මේ තනියෙන් ඉන්න එක මගේ හිතටත් බරක්නෙ නංගි. මෙහෙ හිටියා නං අපිවත් ඉන්නවා”
“අනේ මොකටද අක්කා බය වෙන්නේ. මම දැනටම මාසෙකට ගාණක් යවනවා එහෙ හොඳ රිටයර්මන්ට් විලේජ් එකකට. වැඩ කරගන්න බෑ කියලා හිතෙද්දි ටැක්සියක් දාගෙන යන්න විතරයි තියෙන්නේ”
“මට නං හිතට හරි මොකද්ද වගේ ඔයා සාරංගට කතා නොකරපු එක. මමත් නිකම් බොරු කාරියක් උනා.”
මෙච්චර වෙලාවක් ඔහේ කතා කර කර හිටපු රාජිකා‌ගේ ඇස් දෙක වෙනස් වෙලා දිළිසෙන්න ගත්තා.
“ අක්කේ මං රට ගිය මුල කාලෙ හැමදාම හිතුවේ ආයෙ ලංකාවට ඇවිත් සාරංගව හම්බ වෙන දවසක් ගැන. මං තනියම හිටියට සාරංග එක්ක ඉන්නවා වගේ හිතින් ජීවත් උනේ. ඒ උනාට පස්සේ මටම හිතුණා, දවසක හම්බ වෙලා සාරංග ඉස්සර වගේම මට ආදරෙන් “රාජි” කියලා කතා කළොත්, මට තරහ යයි නේද මේ මිනිහා අර ගෑණිව ගෙදර තියලා මාව හුරතල් කරන්න එනව කියල. අනිත් අතට එයා නිකම් සාමාන්‍ය බැච් මේට් කෙනෙක් වගේ “ඉතිං රාජිකා කොහොමද, ඔයාගේ රිසර්ච් වැඩ දකිනවා පත්තරවල එහෙම, හරි සතුටුයි” කිව්වොත්. මට ඊට පස්සේ පිස්සු හැදෙයි. තාම මගේ ඔලුවෙ ඉන්නේ අර කැම්පස් කාලෙ කෙට්ටුවට කෙට්ටුවේ කොටු ෂර්ට් ඇඳගෙන හිටපු සාරංග අක්කේ. මට බෑ ඒ පින්තූරෙ නැති කරගන්න. දැන් එයයි මායි දෙන්නම ඒ කාලෙ පහුකරගෙන සෑහෙන දුර ඇවිත්නේ. ඒ හින්දා මං දැන් ඉන්න සාරංග හම්බවෙන්න බයයි.”


Nissanka Rajapaksa

unread,
Sep 21, 2024, 9:22:59 PM9/21/24
to INDRAKA group
24
දෙකහමාර

- නයනසේන වන්නිනායක
('වන්නිගේ කොලම' පොතෙන්) 

ඔහු නමින් ධර්මදාස ය. ඔහුට 'දෙකහමාර' යන නම පටබැන්දේ අපේ  ගම්මුන්ය. 
මීට දස වසකට පමණ  පෙර දවසක හවස දෙකහමාරට ස්ටේෂන් එකට නලාව පිඹිමින් කොළඹ සිට එන උඩරට මැණිකේ  තම වසු පැටියන්ට  රේල් පාර අයිනේ සරුවට වැඩුණු තණ කොළ  කප කපා සිටි ධර්මදාසව  දකින්නට නැතුවා වෙන්නට ඇත . ඔහුගේ කණ ඇසීමේ දුබලකම වත් දැන සිටියේ නැතුවා වෙන්නට ඇත. 

අන්තිමේදි වේගයෙන් දුවන උඩරට මැණිකේගේ ගැටුන සේ ඔහු පසෙක කාණුවට  විසිවී ගියේය. මෙම අනතුරින් ඔහු බේරී ඇත්තේ ඔහුම පවසන අන්දමට  තමාගෙන් ලොව කිසිවෙකුටත් කරදරයක්  නැති නිසාත් පුරා තිස් වසරක කාලයක සිට දළදා මාලිගාවේ රාජකාරියට කැප වී සිටින නිසාත්ය. ඔහුගේ ජීවිතය නුලෙන් බේරුනත්  නැමුණු කොන්ද නැමී තුනටිය රිදුම් දෙන්න වූ අතර පේරාදෙණිය ඉස්ප්රිතාලේ  දොස්තර මහතා විසින් ඔහුට බරවැඩ සපුරා තහනම් කෙරිණ . 

දවසකට පොල් ගස් තුන හතරක් නැගීම, හරක් බලා ගැනීම,  තණකොළ කපාහෙන ඒම, අනුන්ගේ වතු උදලු ගෑම, අඳ කුඹුරු කෙටීම, බැත හුලං  කිරීම  හා පැටවීම ඔහුගේ 'බරවැඩ'   ලයිස්තුවේ නැතැයි ඔහු  විස්වාස කළේය.  
"එව්වා නොකර හිටිය නම් දොස්තර මහත්තයද ළමයින්ට කන්ට දෙන්නේ ... ?" 
ධර්මදාසට එහෙම හිතුනාට  එහෙම කීවේ නැත. 
  
ඔහුගේ පෙනුම බයාදුය. කතාව බැගෑපත්ය . නියාලුය. ඒ නිසාම බාල වයසේ කොලු කුරුට්ටෝ මගතොටදී ඔහු හමුවුනාම හූ කීහ. උසුළු විසුළු කළහ. මැදි  වයසේ  විසූ 'බාලයන්'ද  ඒ අතර වූහ. දහවල් කාලයේ උසස් යි කියා ගන්නා මිනිසුන් ළඟ දෙකට  තුනට නැවෙන  ඔහුගේ කොන්ද හීන් අඩියක් ගැසූ පසු රැට දරදඬු වෙන සේය . එසේ වූ කල තම බිරියටත් ළමයින්ටත් ඔහු යටි ගිරියෙන් කෑගසන බව ගම්මුන්ගෙන් මා  අසා ඇත . දහවල දකින ලෝකයෙන් පලිගැනීමටත් තමන්ගේ කොන්ද හයිය  බවට ලෝකයාට පෙන්නීමටත්  එසේ කළා විය හැක.  

උඩහ ලිඳ ගාව කිතුළේ නාඹර මලක් තලා පදම් කිරීමටත් පහල කමතේ පොළොස් ගැටයක්  කඩපු දවසක මගේ  බිරිය උයන පොළොස් ඇඹුල තලු මර මරා ගිලීමට ඔහු මහත් ගිජු කමක් දැක්වීය. 
 
"ඇස් වහක් කට වහක් නෑ. පොඩිමැණිකෙගේ අත්ගුනේ"  
"කටවගගෙන ඕක කනවද  ධර්මදාස බොරු ආලවට්ටන් නැතුව"  
"ඕන් කිව්ව කතාවක් ....කටවහගෙන කොහොමද පොඩි මැණිකේ බත් කන්නේ" 
බිම ඉඳගෙන  හුස්මට දෙකට බෙලෙක් පිඟාන හිස්කරන ඔහු  තමාටම වෙන් කර ඇති පිඟාන හා කෝප්පය රාක්කයේ නැවත එතනම අසුරයි.  
"පොල් ගස් දෙකතුනකම් ඕන් පැහිලා " 
අපේ පිළිතුරක් හෝ අවසරයක් ඔහුට ඕනෑ නැත . 
ඊළඟ මොහොතේ තුනටියෙන් වාරු ගනිමින් කූඬැල්ලෙකු සේ ඉහලටම ඇදෙන ඔහු දැක ගත හැක. 
"අපේ මහත්තයට වෑවර ගෙඩි දෙකකුත් කැඩුවා"යි කියමින් ඒවාත් රැගෙන  බහින්නේ බිම දැමිය නොහැකි නිසාය. ඒ වචන තුල අපේකම මෙන්ම ලෙන්ගතුකම මට දැනේ.  
"ධර්මදාස මේක තියාගන්න."  
මිට  මොලවන්නේ  කීයද කියා නොබලා පින් අනුමෝදනාව පටන්ගෙනය  
"තිස් තුන් කෝටියක් දෙව් දේවතාවන්ගේ පිහිට හා ආරක්ෂාව ලබා ..........." 
එහෙම කීයක් හෝ දෙන දවසට ගැඹුරු ළිං  වැනි  ගිලුණු ඇස වල කඳුළු පිරී ඇත. 
අප මිට මොලවන්නේ සොච්චමකි. එයද පොල් කැඩීමේ කුළිය  වෙනුවෙනි . ඔහුට එය පෙනෙන්නේ තමා වැනි කලහීනයෙකු වෙනුවෙන් කුලවත් සත්ගුණවත් දානපතියකු විසින් දෙන ලද  වටිනා දාන වස්තුවක් විලසිනි. 
"දෙකහමාර මෙහෙ වරෙන් උඹ කොහේ මකබෑවෙලාද? 
ඒ පහළ ගෙදර ලොකු රාලහාමිය . 
"ලොකු රාලහාමිට තරහ ගිහිල්ලද කොහෙද මන් වෙලේ මැහිතෙල් ගහන්න එන්නම් කිව්වා ඊයේ ඒත් එන්න බැරිවුණා ඉස්කීම්  එකේ මරණයක් වෙලා.  පාන්සලේ හාමුදුරුවෝ වඩම්මන්න  හේවිසි ගහන්න ගියා ."  
 
මුලදී මට කීමට අමතක වු දෙයක් ඇත.  ධර්මදාස දක්ෂ හේවිසි වාදකයෙකි . හැම ඇසළ පෙරහරකම කරඬුව වඩම්මන ඇතා ආසන්නම ගමන් කරන හේවිසි කණ්ඩායමේ ඔහුත් යාවජීව සාමාජිකයෙකි. දවස් ගානක් පිලිහුඩු නොකා රා නොබී පරිසිදු වතින් සැරසී පේවී උජාරු ලීලාවෙන් අඩව් අල්ලමින් පෙරහරේ යන්නේ රජෙක් වගේ තේජස මවාගෙනය . 

"අර යන්නේ අපේ ගමේ 'දෙකහමාර..." කවුරුවත්  එසේ කියනු මා අස නැත.  
දැඩිලෙස ණයතුරුස් වලිනුත් සුව නොවන ලෙඩ දුකිනුත් කොන්දේ ආබාධයෙනුත් පීඩා විඳ නැගිටිනු  නොහැකිලෙස ඔත්පළව අන්තිමේදී ඔහු  නිවසේම මියගොස් තිබිණි. ඔහුගේ මරණයට මළබෙර වැයීමට හේවිසි කරුවන් කිසිවෙකු හිට්යේ නැත. 
 "මොනවහරි අපෙන් කෙරෙන්න තියෙනවද'" 
ලොකු රාළහාමිද  මළගෙදරට පැමිණ  ධර්මදාසගේ බිරිඳගෙන් ඇහුවත්  ඈ සුසුමක් හෙලා   නිහඬවම සිටියාය.  
 "මූ බේබදුකමට කරගත්ත මරණයක් මේක" 
එලියට බැස එන ගමන් කියමින් ලොකු රාළහාමි තමාගේ  'ඒක  පාක්ෂික පශ්චාත් මරණ පරීක්ෂණ විග්‍රහය' තවකෙනෙකුට කියනු ඇසිණ.  
"එයාගේ ගෙනාපු ආයුෂ එච්චර තමයි..."  
"වෙන්න දෙයක් තියනවනම්  සක්කරයටවත් වලක් වන්න බෑ "  
කීපදෙනෙක්ම ඉස්තොප්පුවේ සිට හා කුස්සියේ සිට නළලත රැලි කරමිනි.  හැමදාම හැමතැනම කියන  එකමදේ ඔවුන් නැවත නැවත පැවසුවේ ඉතිහාසයේ පලමු වතාවට ඒ දේ ප්‍රකාශ  කරන මහා පඬිවරුන් ලෙසිණි.  

ධර්මදාසගේ නිවාස අසල රේල් පාරේ දෙකහමාරේ උඩරට මැණිකේ හැමදාම නලාව පිඹගෙන  තාමත් දුවනු ඇසේ. වාර්ෂික දළදා පෙරහැරද  අලුත් හේවිසි කරුවන් සමග වෙනදා වාගේම වීදි සංචාරය කරනු ඇත.


Nissanka Rajapaksa

unread,
Sep 22, 2024, 9:02:37 PM9/22/24
to INDRAKA group
25
ඊරිසියා 

- පවිත්‍රා අභයවර්ධන

සුගුණා ලිප පත්තු කරලා කේතලේ තිබ්බේ ඉස්සරහ දොර ඇරලා මිදුලට එබිල ඇවිල්ල. අලුත් වෑන් එක මිදුලෙන් එකයි. ඊයෙ හවස ඉඳන් කොච්චර අතගාලා බලල ආවත්, ආයෙ බලන්න හිතෙනව. තමන්ගෙ දරුවෙක්ට හරි යනව කියන්නේ ආය අම්මෙකුට තවත් මොකද්ද? ඊයෙ බෑණ තමයි වාහනේ ගෙනාවෙ.‍

බෑණ නැගිට්ටම කියන්න ඕන ටිකක් එහායින් පාරට පේන්න නවත්තන්න කියල. ඕව දුවට කිව්වොත් නං සුගුණට බැනුම් අහන්න වෙනව. බෑණ නං “අම්මගෙ ආසාවනේ.” කියල හක හක ගාලා හිනාවෙලා කියන දේ කරනව.
-----------------------------------------
සුගුණගෙ ළමයින්ගෙන් ටිකක් හරි අගහිඟයක් තිබුණෙ බාල දුව ඉනෝකට තමයි. ලොකු දෙන්නා සමන්තයි වසන්තයි ඉගෙන ගත්තා, රස්සා කරා පිළිවෙළට ඔලුව උස්සගත්ත. ඉනෝක හිතුවක්කාරි. ඉස්කෝලෙ කාලෙම ජගත් එක්ක පැටළුණා, මොනව කරලවත් අත් ඇරගන්න බැරි උනා. අන්තිමට ඔන්න ඔහෙ ඕන එකක් කියල සුගුණ කරබගෙන හිටියා. මනුස්සයත් නැතුව තමන්ට විතරක් ඔව්වට ඔට්ටු වෙන්න බෑනෙ.

හැබැයි ජගත් හරි හිත හොඳ කොල්ල. කාටවත් නොකිව්වට දැන් සුගුණට හිතෙන්නේ තමන්ගෙ පුතාලටත් වඩා බෑණ හොඳයි කියල. කොච්චරවත් අම්ම කියාගත්ත ගමන්, හිනා කටයි.

ඉනෝකව බැඳල ජගත් ටිකක් කල් පැක්ටරියක ඉස්ටෝරුවක වැඩ කරා. හරි හමන් පඩියකුත් නෑ. ඒ කාලෙ ඉනෝකත් ඇට ගැහිල හිටියෙ. ටිකක් කල් ගිහින් තමයි ජගත් කොරියාවෙ ගියෙ. ඒ ගියා කියලත් වැඩි වෙනසක් උනේ නෑ. ඉනෝකා ළමයත් එල්ලගෙන පයින්ම ගියා. පරණ විදියටම සාය කෑලි ඇන්දා. මිනිහා රට කියලා වෙනසක් උනේ නෑ. 

“ඔය පොඩි දරුවත් එක්ක අව්වෙ පයින් යන්නේ වීල් එකක් කතා කරලා දෙන්නද පුතේ?”

ඉස්සර ඉනෝක ගෙදර ඇවිත් ආපහු යන්න මඟට බහිද්දි සුගුණ අහන්නේ අනුකම්පාවටයි, ගම මැද්දේ රටටම පේන්න හිඟන්නි වගේ යන එක නවත්තගන්නයි දෙකටමයි.

“අනේ ඕන්නෑ අම්ම. අරය නැහිල නැහිල එවන ඒව නාස්ති කරන්න හිතෙන්නෑ”
ඉනෝක එහෙම කියල පයින්ම යනව. 

පස්සෙ තමයි සුගුණ උනත් දැන ගත්තෙ එවපු සල්ලි වලින් වියදමට විතරක් තියාගෙන ඉතුරුව පොතේ දැම්ම කියල.

ගියාට පස්සේම නෑවිත් ඉඳල ජගත් ආවෙ මේ සිංහල අවුරුද්දට මාසෙකට විතර උඩදි. ආයෙ යන්නෑ මෙහෙ මොකක් හරි කරනව කිව්වට දෙන්නම වැඩි විස්තරයක් කිව්වේ නෑ. සිංහල අවුරුද්දටත් ඉනෝකයි පොඩි එකයි බස්සල ජගත් ගියා වැඩක් තියෙනව කියල. අවුරුදු කාල ඉවර වුණා විතරයි අලුත්ම වෑන් එක අරන් මිදුලටම එනකොට. දෙන්න කතාවෙලා තමයි කරල තියෙන්නේ වැ‌ඩේ. දැනටම ඔපිස් හයර් එකක් කතා කරගෙනත්ලු තියෙන්නේ.

අප්පේ සුගුණට සන්තෝසෙ ඉහිළුම් නෑ. කෙල්ල ගැන තමයි හිතේ ගින්දර තිබුණේ. කට්ටිය රෑ වෙනකම් කතා කර කර හිටිය. 

“කට්ටියම උඩමළු යං එහෙනං හෙට උදේට. අයියලත් මේ සතියම නිවාඩුනෙ”
එහෙම කියල තමයි ජගත් නිදාගන්න ගියෙ. සුගුණ ඇඳට වැටුණෙත් සැනසිල්ලෙන්. ඒ උනාට ඉතිං ඒක නැතිවෙන්න ගියෙ පැය කීයද? අස්තිර ලෝකෙ.
-------------------------
කුස්සිය එළියෙ අඩි සද්දෙට සුගුණ ගැස්සුණා. ඔය නං මල්ලි, පද්මසේන. 
පුතාල, ලේලිල, දුවල, බෑණල කවුරු හිටියත් මේ පාන්දර නැගිටින ඈයො නෙවෙයි‌නෙ. සුගුණලගෙ පරම්පරාව තමයි වැඩක් ඇතත් නැතත් පුරුද්දට පාන්දර නැගිට්ටෙ. 

“මේං හේරත් අල කොළ මිටියක් දුන්න. කෙහෙල් මුවේකුත් කඩා ගත්තා පීල්ල ළඟ ගහකින්”

ළමයි ආව දවසට පද්මසේනටත් ඉවරයක් නෑ. මාතුපේම නැතිවුණ දවසෙ ඉඳල ළමයි ටික උස්මහත් කරගන්න කරගැහුවෙ මලයා. නැත්තං සුගුණ ඔච්චර හරියක් කොහෙ කරන්නද? ඔයින් මෙයින් කසාදයක් කරගන්නෙත් නැතුව අක්කගෙ ළමයි එක්කම ඔට්ටු උනා. 

“මද්දු තෙල් ගහන්න ගියාද පාන්දරම? වීල් එක නැත්තේ?”

සුගුණගෙ හිටියෙ කොයි වෙලේ ඕක අහයිද කියල.

“සුලෝචනාගේ ඉස්කෝලෙ ලොකු සර්ගෙ අම්ම නැති වෙලා ටීචර්ල කට්ටිය මළගෙදර යනව උදේම කියල පාන්දරම ලෑස්තිවෙලා ගියෙ”

නැවිල හිටපු පද්මසේන ගැස්සිලා කෙළින් උනා.

“ආ, ආයෙ වලිප්පුව හැදුණද සුලෝචනාට? නොදකිංවත් ඉගෙන ගත්තු ගෑණු නේද මේ. ගුරියෙක් නේද තව. මං ඒත් හිතුව ඊයෙ මොකුත් තොවිලයක් නැති හන්ද දැන් හැදිල කියලා. යකෝ පිට ගෑණි කමක් නෑ. මද්දුට කට නැද්ද කියලා තියාගන්න”

පද්මසේනට යකා වැහිල. සුගුණත් අර ළමයි බේද කරන්න බැරි හින්ද කට වහගෙන වාවගෙන ඉන්නව මිසක් ඉහේ උකුණො බිමට පනින තරං කේන්තිය. මෙච්චර හොඳ දවසෙ මේ හැතිරි කරපු දේ කියලා උදේ ඉඳන් හිතේ තෝන්තුව. 
-------------------------------------------------------------------------------
සුලෝචනා සුගුණගෙ බාල ලේලි. මද්දුමයා වසන්තගෙ නෝන. 
සුලෝචනාගෙ පුදුම එකක් තමයි තියෙන්නේ. මේ පවුලේ මොකක් හරි හොඳ දෙයක් වෙනවනං මොකද්ද ආවේසයක් වෙනව වගේ වසන්තා වෙනස් වෙනව. පුදුම කුහක කමක් ඊරිසියාවක් මතුවෙනව. හැබැයි දුකක් කරදරයක් නං අප්පේ වෙස්සන්තර වගේ. දවස් ගණං නිවාඩු දාලා ඇවිත් නහිනව. බඩේ තියන එක ඉඳන් දෙන්න හදනව.

ඔය කට්ටියත් එක්ක අලුත් වාහනේ යන්න වෙනවට දාගත්තු බොරු ගමනක් බව නොතේරෙන්න සුගුණ අත දරුවෙක්යැ. හැරෙන කොට කියන්න බැරිද. අනේ පොඩි දරුවො දෙන්නත් මැදගෙන හිටියෙ උඩමළු යන්න. ඇහැරුණොත් යන්න බෑ කියල පොර අල්ලයි කියල වෙන්න ඇති නින්දෙන්ම වීල් එකට පටවගෙන ගියේ.

ඔය වගේ හැමදාම මොකක් හරි කරනව. 

ලොක්කගෙ ගෙට ගෙවදිල්ල දවසේ නටපු නැටුම ඔක්කොටම හපං.
එදා උදේ ඉඳන් මූණ දෙක කරගෙන මද්දුටත් පුප්ප පුප්ප ඉන්නව සුගුණ බලාගෙන. ටික වෙලාවකින් ඉනෝක ඇවිත් ජගත් එව්ව කියල ටොපි වගයක් දුන්න හැමෝටම. ටොපි කිව්වට හයිය ඒවත් නෙවෙයි, නිකං කටේම දියවෙන ජාතියක්. 

මද්දුගේ ලොකු පුතාට එතකොට අවුරුදු තුනක් වගේ. ටොපිය කනකොට කොල්ලට පොඩි කැස්සක් ආව. සුගුණ පාරක් පිටට ගැහුවම ඒක එවලෙම ඇරුණා.

මෙන්න වසන්ත එතනට පැනල, උගුරෙ ටොපි හිරවෙලා ඇති, මොකටද පොඩි එකාට ඕව දුන්නේ, දොස්තර කෙනෙක් ළඟට එක්ක යං කියල අඬා වැටෙන්න පටන් ගත්තේ නැතෑ. කොච්චර ළමයා හොඳට ඉන්නවයි, අරක මේක කිව්වට ඇහුවෙ නෑ. අන්තිමට මද්දුයි වසන්තයි පොඩි එකයි දොස්තරල ගාවට ගියා. ගෙවදිල්ල එහෙම පිටින්ම අනිත් පැත්ත හැරුණා. 

ඔය වගේ මොන යම් දෙයක් කරන්න ගියත් මොකක් හරි බාදාවක්. 

තමන්ගේ පුතා ගැන තරහ සුගුණට ඔක්කොටම වඩා. ගෑණි මොක කිව්වත් “නෑ, අද ඉඳලමයි යන්නේ” කියන්න බැරිද? තමුන්ගේ එකම නඟා වාහනයක් ගත්තු දවස. අවුරුද්දේ කට්ටියම ගෙදර ඉන්න දවස. ඒ මොකුත් නෑ,ගෑණී මොකද කියන්නේ යයි පස්සෙන්. ඒකට සුගුණලට හම්බවෙච්චි මිනිස්සු. ගෑණිට හෙණ ගහලා ගියත් අම්මල නංගිලට තමයි බලලා හිටියේ.

එක අතකට සුගුණට හිතෙනව තමුනුත් මේවට වැරදි කාරි කියල. මනුස්සය මාතුපේම කොයි වෙලේත් තමුන්ගේ අම්මල නංගිලගෙ කීම අහපු හින්ද සුගුණ කොල්ලො දෙන්න හැදුවෙ මන්තරේ වගේ “ගෑණු ගත්තම උන්ට සළකන්න ඕන, ඊට පස්සේ ඉස්සෙල්ල බලන්න ඕන තමන්ගේ පවුල ගැන” කිය කියා. ඕං අන්තිටම වෙච්චි වැ‌ඩේ.

-------------------
ටිකකින් ඉනෝකා ආව ඇඟමැලි කඩ කඩ. 

“මඟදි කන්න බතකුයි ව්‍යාංජන දෙකකුයි වත් හදාගමුද අම්ම? මේ ටිකේ කඩත් වහලා ඇතිනේ. කෝ මද්දු අයියල තව නිදිද?”

“අනේ සුලෝචනාගේ ඉස්කෝලෙ ලොකු මහත්තයගේ අම්ම නැතිවෙලා හදිසියේ. කතරගං යන්න ටීචර්ල කාණ්‌ඩෙ ඉස්කෝලෙ ළඟට එකතු වෙනව කියල පාන්දරින්ම ගියා. කාවවත් ඇහැරවන්න එපා කිව්වේ රෑට රෑවෙලා නිදියගත්තෙ කියල”

සුගුණටත් අසද්ද බොරු කියන්න වෙනවා මේ එක ඒකීල හින්ද. ඉනෝකත් එළදෙනක් යැ. නෑනගෙ හැටි නොදන්නවයැ. මූණ කළුවෙලා ගියා.

“ආ” විතරයි කිව්වේ.

සුගුණ දුවගේ මූණ බලන්නේ නැතිව ලුණු මිරිස අඹරගෙන අඹරගෙන ගියා.
කට්ටිය නැගිටල මද්දුල නෑ කියල දැනගත්තම නිකං ඊයෙ රෑ තිබ්බ සන්තෝසෙ හේදිලා ගියා වගේ උනා. සුගුණටත් හරියට හිතේ අමාරුව. තමනුත් කොයි වෙලේ වැලිගම්පිටි යයිද දන්නෑ. සැරින් සැරේ පපුව හිරවෙනව. ඊට කළින් දරුවො තුන්දෙනාමයි මුණුබුරෝ රැළයි එක්ක උඩමළුව වඳින්න තිබ්බ එකනේ මේකි නැති කළේ. 

කතාවෙච්ච ගමන හින්ද ඉතිං යන්න ලෑස්ති උනා. ලොක්කගෙ ටෙලිපෝන් එක වැදුණෙ කට්ටිය කිරිබතුත් කාලා අටට විතර වෑන් එකට නැගල ඉඳගත්ත ගමංමයි.

“ ආ, අප්ප, කොයි වෙලේද? ආ හරි හරි”

“මොකද මොකද?” ලොක්ක කතාව නවත්තපු ගමන් සුගුණ පැන්නේ මොකක් හරි කරදරයක් බව දැනගෙන.

“සඳරු පුතා කතා කළේ. සුලෝචනා ප්ලාස්ටික් පුටුවක නැගල මකුළු දැල් කඩන්න ගිහින් පුටුව ඇලවෙලා වැටිල අත මැණික් කටුව ළඟින් කැඩිලලු. මල්ලි අල්ලගෙන ඉන්නවලු. මට කාරෙක අරන් එන්න කිව්ව පල්ලෙගම යන්න. මං මෙහෙම්ම යන්නං. මල්ලිලා ලෑස්ති වෙච්ච ගමන යන්න”

“එහෙම පුලුවන්යැ අයියෙ ඔච්චර දෙයක් වෙලා තියෙද්දි. කට්ටියම යං මේකෙ. පල්ලෙගං ගිහින් එන වෙලාවක් කියන්න බෑනෙ පොඩි කට්ටිය එක්කත් කවුරු හරි ඉන්න වෙයිනෙ.”

“අනේ පුතේ මේ අලුත් වාහනේ ඉස් ඉස්සෙල්ලම ඔහොම දේකට යන්න හොඳයැ. මායි ලොකු පුතයි යන්නං. පුතාල ඔය යන ගමන යන්න” ඒ සුගුණ.

“මේ වගේ වෙලාවට නැති වාහන මොනවටද අම්මෙ. මෙහෙම්ම යං.”

Nissanka Rajapaksa

unread,
Sep 23, 2024, 9:28:40 PM9/23/24
to INDRAKA group
26
බිඳුණු පිගාන

චීන ලේඛක ජින් ජින් විසිනි

අනුවාදය බොබී ජී බොතේජු


මේ කලකට පෙර රජයේ උසස්‌ නිලතල දරා දැනට විශ්‍රාම ලබා සිටින මහල්ලන් තිදෙනකු පිළිබඳ කතාවකි.

ප්‍රථමයෙන්ම වැන්ග් මහල්ලාව හඳුන්වා දීමට මට අවසර දෙන්න. ඔහුගේ දීප්තිමත් තට්‌ට හිසේ මුදුන කෙතරම් මෘදු දැයි කිවහොත් කොළයක්‌ ඒ මත වැටුණත් නොරැඳ ලිස්‌සා යයි. අසුනක වාඩිගත් වහාම නිදිකිරීමටත් හයියෙන් ගෙරවීමටත් සමතෙකි. ආහාර ගැනීමටද රුසියෙකි. මීළඟට හඳුන්වා දීමට අදහස්‌ කරන මා් මහල්ලාගේ ගතිගුණ වැන්ග් මහල්ලාගේ ගතිගුණවලට ප්‍රතිවිරුද්ධය. කදිමට පීරා ඇති සුදු හිසකේ ඇති හෙතෙම වාචාලයෙකි. ඔවුන් අසල සිටින විට ඔබට කිරීමට සිදුවනුයේ නොනවත්වාම කෙරෙන ඔවුන්ගේ කතාබහට සවන්දීම පමණකි. මේ අතර තෙවන්නා ශැන්ග් මහල්ලායි. උස මහතත් නැති කෙට්‌ටුත් නැති ඔහුට සුදු රැවුලක්‌ ඇත. ඔහු නිතර කල්පනා කරමින් සිටීමට කැමැති තැනැත්තෙකි. ඔබ ඔහුට යමක්‌ කීවොත් ඔහු බොහෝ වේලාවක්‌ ඒ ගැන කල්පනා කරයි. ඔබ කිසියම් කරුණක්‌ ගැන ඔහුගේ අදහස විමසුවහොත් ඊට පිළිතුරක්‌ ලබා ගැනීමට යටත් පිරිසෙයින් මිනිත්තු පහකටත් වැඩි කාලයක්‌ බලා සිටිය යුතුවෙයි.

විශ්‍රාමිකයන් වන මේ මහල්ලෝ එකම වීදියක වාසය කළහ. ඔවුහු උද්‍යානයට යාමට හෝ චෙස්‌ ක්‍රීඩාවට හෝ චීන මල්ලව පොර ක්‍රීඩාවලට කැමැත්තක්‌ නොදැක්‌වූහ. එවැනි ක්‍රියාකාරකම් වැදගැම්මකට නැති දේ ලෙස ඔවුහු සැලකූහ. තමන් විශ්‍රාම ගියද පෙරපරිදිම රැස්‌වීම් පවත්වන බව ඔවුහු අන් අයට කියා සිටියහ. ඊට සහභාගිවන්නේ තිදෙනකු පමණක්‌ බැවින් ඒවා කුඩා කණ්‌ඩායම් රැස්‌වීම් ලෙස ඔවුහු හැඳින් වූහ. එවැනි රැස්‌වීම් පැවැත්වීම වාසිදායක බව ඔවුන්ගේ මතය විය. නිදසුනක්‌ වශයෙන් වැන්ග්ට කමිසයක්‌ මිලට ගැනීමට අවශ්‍යවූ විට ඔහු යා යුත්තේ අසල ඇති පොදු වෙළඳපොළටද එසේ නැතිනම් තරමක්‌ ඈත පිහිටි රජයේ වෙළඳ ගබඩාවටද? ඔහු තෝරා ගත යුත්තේ කුමන වර්ණයද? තෝරාගත යුතු රෙදි වර්ගය කුමක්‌ද ? කපු රෙදිද ? වෙනත් වර්ගයක්‌ද? මේ කාරණා පිළිබඳව තීරණය කිරීම සඳහා ඔහු මා සහ ශැන්ග්ට රැස්‌වීමකට ආරාධනා කරයි. ශැන්ග්ට සහ මාට දරුවන්ට තෑගි භාණ්‌ඩ මිලට ගැනීමට අවශ්‍ය නම් ඒ ගැන සාකච්ඡා කිරීමට ඔවුහු වැන්ග්ට ආරාධනා කරති. සමහර දිනවල උදැසනම ආරම්භවන මෙම රැස්‌වීම හිරු බැස යන තුරුත් පැවැත්වෙන අතර තීරණයක්‌ නොගෙනම අවසන්වෙයි. ඔවුහු එවැනි රැස්‌වීම් පැවැත්වීමෙන් සතුටක්‌ ලබති. ආහාර වේල් අමතකවීම වැදගත් නොවේ. එහෙත් රැස්‌වීමක්‌ පැවැත්වීමට නොහැකි වුවහොත් ඔවුහු අසතුටට පත්වෙති. ඒ මහල්ලන් මිතුරන්ද? ඔවුහු රැස්‌වීම් පැවැත්වීමට ඇබ්බැහිවූවෝ වෙති. 

එක්‌ දිනක පෙරවරු දහයේ කණිසමට ගසක සෙවණක්‌ යටට රැස්‌වූ මේ මහල්ලෝ කුඩා කණ්‌ඩායම් රැස්‌වීමක්‌ ආරම්භ කළහ. ඔවුන්ගේ න්‍යාය පත්‍රය කුමක්‌ද? ඔවුන් ඉදිරියේ ඇති ගලින් තැනූ මේසය මත කහ පැහැති බැදපු මාළු පිඟානකි. මීට පෙර පැවති රැස්‌වීමකදී ගත් තීරණයක්‌ අනුව මාළු මිලට ගෙන ඇත. අද ගැටලුව වී ඇත්තේ මුලින්ම ආහාරයට ගත යුත්තේ කුමක්‌ද යන්නයි. මාළුවාගේ හිසද? මැද කොටසද? වලිගයද? මේ පිළිබඳව තීරණයක්‌ නොගෙන එය ආහාරයට ගන්නේ කෙසේද?

මා මහල්ලා ආරම්භක දේශනය කළේය. ඔහු මෙම රැස්‌වීම පැවැත්වීමට හේතුවූ කාරණා පිළිබඳ දීර්ඝ විස්‌තරයක්‌ කොට අනතුරුව තමා දරන අදහස ඉදිරිපත් කළේය. අවසාන වශයෙන් ඔහු ප්‍රකාශ කළේ මාළු ආහාරයට ගැනීමේදී වැන්ග් සහ ශැන්ග් ප්‍රවේසම් විය යුතු බවයි. මන්ද යත් මාළු කටු උගුරේ හිර විය හැකි බැවිනි. අපි මහලු බව අමතක කරන්න එපා. ඔහු අවවාද කළේය. මාළුවා සීතල වනතුරුම පැයකටත් වැඩි කාලයක්‌ ඔහු කතා කළේය. 

ඇත්තෙන්ම ඔහුගේ කතාව සාරාංශ කර ගත්විට ඔහුගේ අදහස වූයේ මාළුවාගේ හිස කොටස මුලින්ම ආහාරයට ගත යුතු බවයි. වරින්වර විරාම තබමින් සංගීතවත් ලෙස මා මහල්ලා කතා කළ බැවින් එම කතා ඇසීමට වැන්ග් මහල්ලා ප්‍රිය කළේය. මා මහල්ලා හඬ උස්‌ පහත් කරමින් කතා කළ අතර සෑම වාක්‍යයක්‌ අවසානයේම ආම් යනුවෙන් පැවසුවේය. ඔහුගේ කතාවේ රිද්මයානුකූල බව නිසාම එය සවනට ප්‍රියවිය. මේ නිසාම මේ කතාව අවසන්වන විටම වැන්ග් මහල්ලාට නින්ද යයි. මා මහල්ලා කතාව අවසන් කර වැන්ග් මහල්ලාගේ උරහිසට තට්‌ටු කර ඔහුගේ කතාව ආරම්භ කරන ලෙසට ආරාධනා කරයි. වැන්ග් මහල්ලාගේ අදහස වූයේ මාළුවාගේ හිස කොටස පළමුවෙන් ආහාරයට ගැනීමට මා මහල්ලා ඉදිරිපත්කරන යෝජනාවට එකඟවිය නොහැකි බවය. අනතුරුව ඔහු ඊට හේතු දහයක්‌ ඉදිරිපත් කළේය. අවසානයේ මාළු සහ මස්‌ කෑමේ ඇති වෙනස ගැනද අදහස්‌ පළ කළේය. ඔහුට ඇත්තේ කෘතිම දත් බැවින් මාළුවාගේ මැද කොටස ආහාරයට ගත යුතු බවත් හිස සහ වල්ගය කොටස්‌ සුප් සෑදීමට යොදා ගත යුතු බවටත් යෝජනා කළේය.

මේ වනවිට වෙලාව පස්‌වරු එක පමණ විය. තවමත් ශැන්ග් මහල්ලා තමාගේ කතාව පවත්වා නැත. "අපි මුලින්ම කාල හිටිමු. මට විශේෂයෙන් කිවයුතු දෙයක්‌ නැහැ." හේ පැවසුවේය.

එහෙත් මා සහ වැන්ග් මහල්ලෝ එකවරම හඬ නැගූහ. "අපි අපේ අදහස්‌ ප්‍රකාශ කළා. ඔබත් එය කළ යුතුමයි. ඔබගේ අදහස වැදගත්. කරුණාකරල ඔබගෙ අදහස අපට කියන්න. ඉන් පසුව අපි තීරණයක්‌ ගනිමු"

"මට ඒ ගැන හිතන්න අවශ්‍යයි. මට කල්පනා කරන්න ඉඩ දෙන්න"

ඔහු හිස පහත්කොට ඔහුගේ දකුණත නළල මත තබා ගත්තේය. මිනිත්තු දහයක්‌ පමණ ගෙවීයාමෙන් පසු ඔහු තම අදහස ප්‍රකාශ කළේය. "අප ආහාර ගැනීම ආරම්භ කළ යුත්තේ තිදෙනාම තීරණයක්‌ ගැනීමෙන් පසුව බවයි මගේ අදහස."

නැවතත් ඔහු හිස පහත් කරගෙන කල්පනා කරන්නට පටන් ගත්තේය. ඔහු යමක්‌ කරන විට බොහෝ ප්‍රවේසම් වෙයි. වැඩියෙන් කල්පනා කර අඩුවෙන් කතා කරයි. සමහර අවස්‌ථාවල තමාගේ අදහස්‌වලින් වැරදි හැඟීමක්‌ ඇතිවේය යන සැකයෙන් නැවත නැවතත් එයම කියයි.

ඉහත සඳහන් ප්‍රකාශය කිරීමෙන් පසු ඔහු තමාගේ නිරීක්‍ෂණය පළකළේය. "සමහරවිට මම දැන් කිව් දේ වැරදි වෙන්න පුළුවනි. ඔබට ඊට විරුද්ධ වෙන්නත් එය විවේචනය කරන්නත් පුළුවනි. මම කතා කළේ මා ගැන හිතල. මගෙ පෞද්ගලික අදහස විවාදයට භාජන කළ හැකියි."

අනතුරුව ඔහු තවත් අදහස්‌ ප්‍රකාශ කිරීමට පෙර හිස පහත් කර ගත්තේය.

කාලය ගෙවී ගියේය. ඒ වනවිට වෙලාව පස්‌වරු දෙක විය. නිහඬතාව බිඳී ගියේ වැන්ග්ගේ ගෙරවිලි හඬිනි. මුලදී කෙටි සහ පහත් හඬින් ගෙරවුවද දැන් එය මහ හඬින් දිගු වෙලාවක්‌ කරන ගෙරවීමක්‌ බවට පත්වී ඇත. එය නැලවිලි ගීතයක්‌ සේ දැනුණ හෙයින් කුසගින්නේ සිටි මා මහල්ලාද නිදන්නට විය. ශැන්ග් තම භාවනාවෙන් මිදී හිස ඔසවා බලනවිට අනිත් දෙදෙනා නින්දේ පසුවන බව දුටුවේය. ඔවුනට බාධ නොකිරීමට සිතූ හෙතෙම ඔවුනට ව්වේක ගැනීමට ඉඩ ඇරියේය. කොහොම වුණත් ඒ සවස කෙටි නින්දක්‌ ලබන වෙලාවයි. එබැවින් ඔහු පුටුවේ ඇන්දට හේත්තුවී විවේක ගන්නට විය. මඳ වෙලාවකින් ඔහුටත් නින්ද ගියේය.

අවදියෙන් සිටින විට කිසියම් දෙයක්‌ ගැන කල්පනා කරමින් සිටියේ නම් නින්දට ගිය පසු එය සිහිනයෙන් පෙනෙන බව කියනු ලැබේ. මේ මහල්ලන් තිදෙනාම නින්දේම මාළුවා ආහාරයට ගන්නා අයුරු සිහිනයෙන් දුටුවහ. ඔවුහු ඔවුන්ගේ රැස්‌වීම සිහිනයෙන් දිගටම පවත්වාගෙන ගියහ. එහෙත් තිදෙනා දුටුවේ එකිනෙකට වෙනස්‌ සිහිනයන්ය. වැන්ග් දුටු සිහිනය අනුව මාළුවාගේ මැද කොටස ආහාරයට ගැනීමට අනෙක්‌ දෙදෙනාගේ එකඟතාව ලැබී ඇත. එබැවින් ඔව්හු කතා කරමින් සහ සිනාසෙමින් මාළුවා ආහාරයට ගත්හ. වැන්ග් මහල්ලා කහ පැහැ ගැනුනණබැදපු මාළු ආහරයට ගැනීමට බෙහෙවින් කැමතිය. ඔහු මාළු කැල්ලක්‌ කටට දමාගෙන ගිලීමට අකමැත්තෙන් විකමින් රස බලන්නට විය. මා මහල්ලා තමන්ගේ අදහස වෙනස්‌කරගෙන වැන්ග්ගේ යෝජනාව පිළිගන්නා බව සිහිනයෙන් දුටුවේය. ඒ අනුව ඔහු මැද කොටස ආහාරයට ගැනීමට ලී පතුරු අතට ගත්තේය. හිස සහ වලිගය ඉවත් කොට එය සුප් හැදීමට සුදුසු බව ඔහුගේ අදහස විය. ඔහු මුව මස්‌වලට වඩා කැමතිය. එහෙත් එය ඔහුට ලබා ගත නොහැකිය. ශැන්ග් මහල්ලා තම සිහිනයෙන් දුටුවේ ඔවුන් දිවා ආහාර සඳහා මාළුවාගෙන් කොටසක්‌ ගෙන ඉතිරිය රාත්‍රි ආහාරය සඳහා වෙන් කළ බවයි. අනිත් දෙදෙනා ඊට එකඟවූ බව ඔහු සිහිනෙන් දුටුවේය.

මහල්ලන් තිදෙනා සිහිනයෙන් මාළුවා භුක්‌ති විඳිමින් සිටියදී ගසේ සෙවණ යටට හදිසියේ පැමිණියේ වයිරම් වැටුණ බළලෙකි. බැදපු මාළුවා කහ පැහයෙන් යුතුව පිඟාන මත විය. ඉමහත් ප්‍රීතියට පත් බළලා එක්‌වරම ගල් මේසය මතට පැන මාළුවාව ඩැහැ ගත්තේය. අනතුරුව මාළුවාගේ ඇටකටුද සමග සියල්ල ගිල දැමුවේය. බළලා තම තොලකට ලෙව කන විට වැන්ග්ද සිහිනයෙන් තොල ලෙවකෑවේය. වැන්ග් මහ හඬින් ගෙරෙව්වේ මාළුවා කොතරම් රසවත්ද කියන්නාක්‌ මෙනි.

මහල්ලාගේ ගෙරවිලි හඬින් බියපත්වූ බළලා පිඟානත් පෙරළාගෙන පැන්නේය. පිඟාන බිඳුණ හඬින් මහල්ලෝ අවදිවූහ.

වැන්ග් අවදිවන විට ඔහු මාළුවාව සිහිනයෙන් රසවිඳිමින් සිටියේය. ම්ම්... කොතරම් රසවත්ද?

මා මහල්ලා දෙඇස්‌ විවෘත කළේය. "ආහ් කෝ පිඟාන? මාළුවාගෙ ඔලුවයි වලිගයයි කෝ?" යනුවෙන් හෙතෙම කෑගැසුවේය.

ශැන්ග් හිස පහත් කරගෙන තමා ප්‍රකාශ කළ යුතු වචන ගැන කල්පනා කළේය. එවිට ඔහු එක්‌වරම දුටුවේ බිම වැටී බිඳි ඇති පිඟානයි. "කවුද පිඟාන බින්දේ? මාළුවාගෙ අනිත් කෑලි කෝ? මට හොඳට මතකයි මාළුවාගෙ භාගයක්‌ම පිඟානෙ තිබුණා" හේ කෑගෑවේය.

එහෙත් පිඟාන බින්දේ කවුද යන්න ඔවුනට අභිරහසක්‌ විය. ඔවුන් කොතරම් අනුමාන කළද අපරාධකාරයා පිළිබඳව සිතා ගත නොහැකි විය. මේ පිළිබඳව සාකච්ඡා කිරීමට රැස්‌වීමක්‌ කැඳවීමට ඔවූහු තීරණය කළහ. සුපුරුදු පරිදි වැන්ග් ආරම්භක දේශනය පැවත්වූවේය. "මේ දැන් මම මාළුවා ආහාරයට ගනිමන් සිටියදී පිඟාන බිම වැටුණා. ඒත් මම දුටුවේ නැහැ. මොකද වුණේ? විශාල සුළඟක්‌ ඇවිත් පිඟාන වැටුණද? ඒක වෙන්න බැහැ. ගහේ කොළ තිබිච්ච විදියටම තියනවනෙ. සුළඟ එන්න ඇත්තෙ කොයි පැත්තෙන්ද?"

"මම කිව්වෙ නැද්ද අපි මාළුවාගෙ ඔලුවයි වලිගයයි සුප් එකට ගන්න ඉතිරි කරමුයි කියල. මා මහල්ලා කීවේය." "මම ඒවා වෙන්කරන්න ලී පතුරු පාවිච්චි කළේ ඒ නිසයි. මට ඒක පැහැදිලිව මතකයි. ඒත් දැන් ඔලුවයි වලිගයයි කෝ? පිඟාන බිඳුණේ කොහොමද? මට හිතෙන හැටියට මේකට හේතු පහක්‌ තියෙනවා. මුලින්ම..." ඔහු හේතු පහක්‌ ඉදිරිපත් කළේය.

අනතුරුව ශැන්ග් මහල්ලා ආරම්භ කළේය. නැවතත් ඔහු හිස පහත් කරගෙන නළලට දකුණු අත තබාගෙන සුසුමක්‌ හෙළුවේය. "අමුතුයි හරිම අමුතුයි. මාළුවාගෙ ඉතිරි භාගෙ කෝ? මට ඒ ගැන කල්පනා කරන්න ඉඩ දෙන්න. කල්පනා කරන්න ඉඩ දෙන්න...?"

ඔහු කතාව ආරම්භ කරනවිට හිරු බැස යාමට ආසන්න විය. කතාව අවසන් කරනවිට අඳුර වැටී ඇත. පාර දෙපස වූ පහන් කණුවල වූ විදුලි බුබුළු ඔවුන්ගේ හිස්‌වලට ඉහළින් දැල්විණ. ඒවායේ ආලෝකය පාර දෙපස වූ ගහ කොළ අතරින් ඔවුන් සිටි ස්‌ථානයට වැටිණ. එහෙත් ශැන්ග් තවමත් තමාට කීමට ඇති දේ අවසන් කර නැත. පිඟාන බිඳුණේ කෙසේදැයි සොයා බැලීමට ඔහුට අවශ්‍ය විය. ඔහු දිගින් දිගටම බොහෝ වෙලාවක්‌ කල්පනා කළේය. එහෙත් කිසිවක්‌ පැහැදිලි කර ගත නොහැකි විය.

උඩපනිමින් දඟලමින් කොල්ලන් සහ කෙල්ලන් රොත්තක්‌ එහි කඩා වැදුණහ.

"සීයෙ සීයෙ දැන් රෑ කෑම වෙලාවත් හරි. ඇයි දවල් කෑමට ආවෙ නැත්තෙ?" ශැන්ග් මහල්ලාගේ මිණිපිරිය කෑගෑවාය.

තමන්ගේ රැස්‌වීම කඩාකප්පල් වීමට අකමැත්තෙන් මහල්ලෝ නැගී සිටියහ. තමාගේ කතාවට බාධා කිරීම පිළිබඳව ශැන්ග් මහල්ලා තම මිණිපිරියට බැණ වැදුණේය. "අපි තවම රැස්‌වීම ඉවර කළේ නැහැ. අපි ආයිත් හෙට පටන් ගනිමුද? එකඟද?" අනතුරුව ඔහු පැවසුවේය.

"ඇත්තෙන්ම ඔව්" අනෙක්‌ දෙදෙනාම එකඟ වූහ.

බැදපු මාළු ආහාරයට ගැනීම පිළිබඳව තිදෙනා ආරම්භ කළ සාකච්ඡාව තවමත් අවසන් නැත. තමන් එය ආහාරයට ගෙන ඇති බව තිදෙනාම සිතාගෙන සිටියහ. එහෙත් බිඳුණු පිඟාන පිළිබඳ අභිරහස සෙවීමට තවත් රැස්‌වීමක්‌ පැවැත්විය යුතුය.

ඔවුන් එවැනි රැස්‌වීම් පැවැත්වීමට ඉතාමත් කැමතිය. එවැනි රැස්‌වීමකින් පසු ඔවුනට රාත්‍රි සුව නින්දක්‌ ලැබිය හැකිය. ඔවුන්ගේ කෙටි රැස්‌වීම් කඩාකප්පල් කිරීමේ සැලැස්‌මක්‌ ඇති බවට වූ නරක ආරංචියක්‌ ඔවුන්ගේ සවනත වැකිණ. එබැවින් ඔවූහු දීර්ඝ රැස්‌වීම් පැවැත්වීමට වඩාත් කැමතිවූහ. තවත් පුද්ගලයකු තමන්ගේ රැස්‌වීමට එකතුවන්නේ නම් ඔවුහු වඩාත් සතුටට පත්වෙති.




Nissanka Rajapaksa

unread,
Sep 24, 2024, 9:06:04 PM9/24/24
to INDRAKA group
27
දෙවැනි කසාදය

- කාංචනා කුමාරි දොඩංගොඩ

තද අළු පාට වැහි වළාකුළු වෙල්යාය හරහා පාවෙලා එනවා. අද කලින්ම වහින්නද කොහේද? අනෝමාට හිතුනා. කොක්කු රෑනක් කළු වළාකුළු පසුකරගෙන පියාඹනව. අනෝමා පුංචි කාලෙ ඉඳලම හරි ආසයි ඔය වගේ එකට, එක රටාවකට ඉගිලෙන කුරුලු රංචු දිහා බලාගෙන ඉන්න. අනෝමා තෙත කෙස් වැටිය පහළට දාගෙන තුවායෙන් පිහිදමන ගමන් අහස දිහා හිස ඇල කරල බැලුවා. කොක්කු රෑන ඈතට ඈතට ඉගිල්ලිලා ගියා. උන් කොහේ යනව ඇත්ද? කරදරකාරී පරිසරයකින් මිදිල සහනදායි පැත්තක් සොයාගෙන යනවද? ආපහු එන්නද යන්නේ? එහෙමත් නැත්නං ආපහු නොඑන්නමද උන් යන්නේ? අනෝමගෙ මේ ප‍්‍රශ්නවලට කවදාවත් උත්තර හම්බ වුණේ නැහැ. රංචු පිටින් යන කුරුල්ලන්ට වඩා හෙමින් තමයි කුරුලු ජෝඩු පියඹන්නේ. එයාලා දෙන්නට දෙන්නා කතා කරකර නිවී හැනහිල්ලෙ පියාඹනවා ඇති. එතකොට දුර, වෙහෙස, විඩාව වගේ දේවල් දැනෙන්නෙ නැතුව ඇති...
 
 ”අනෝමා! අද තේ නැත්ද?” සුසන්තගේ උස් හඬින් අනෝමා පියවි ලෝකෙට ඇද වැටුණා.
 
 උදේ ඉඳන් ගෙදර වැඩ කරල කරල තෙහෙට්ටු වුණු ඇඟපතට, රිදුම් දෙන දෙපාවලට ළිං වතුර ටික වැටුණට පස්සෙ තමයි ටිකක් හරි සනීපයක් දැනුනෙ. පොඩ්ඩක් වාඩි වෙන්න හිතුව විතරයි. දැන් ඉතිං ආපහු තේ හදන්න කුස්සියට. අනෝමා හෝදපු රෙදි ටික බාල්දියට දාගෙන ඉක්මනින් පිළිකන්න පැත්තෙන් ගෙට වැදුණා.
 
 ”මං හිතුවා ළිඳට වැටුණය කියලා. නෑවද, ළිඳ ඉස්සාද?” සාලේ ටීපෝව මත කකුල් දෙක තියාගෙන පත්තරේ කියවන ගමන් සුසන්ත ඇහුවෙ එයින් ඇස් ඉවතට නොගෙන. ”රෙදි ගොඩකුත් තිබුණනෙ හෝදන්න” අනෝමා කිව්වා. ”රෙදි ගොඩක් මොකක්ද? මගෙ ඇඳුම් කෑලි දෙක තුන නෙ ඔය” ඔහු සමච්චල් ස්වරයෙන් පැවසුවා.
 
 ”එහෙමනං ඉතිං ඔයාටම ඒ ටික හෝදගන්න තිබුණනේ” කියල අනෝමා හිත යටින් කෙඳිරුවට ගිනි පෙනෙල්ලෙන් බැට කාලා හිටපු නිසා, කණාමැදිරි එළි, ගින්දර කරගන්න ඇයට හිත දුන්නෙ නැහැ. ”ගානට කහට දාලා, හීනි ඉඟුරු පෙති දෙකක් එක්ක උදේ තේ එකට සීනි වැඩියි. තවත් අඩු කරල දාන්න. උණුවෙන්ම තේ එක ඕන...”
 
 අනෝමා දිය වෑස්සෙන දිගු කේෂ කලාපය, තෙත පිටින්ම හිස් මුදුනට වෙන්න ගැටගහගන්න ගමන් මුළුතැන්ගෙට වැදුණා.
 
 ”මේ! සාලෙ වතුර... ඔයාගෙ කොණ්ඩෙ වතුරද කොහෙද. කාවහරි ලිස්සාවි. ඉක්මනින් මොප් කරල දාන්න” සුසන්ත රූපවාහිනියේ හඬ වැඩි කළා. කවුදෝ කට්ටියක් මහ හයියෙන් හිනා වෙවී රණ්ඩු වෙනවා ඒක ඇතුළේ...
 
 අනෝමාට මතක් වුණේ මෑත අතීතය. ”මේ කඩා හැළෙන කොණ්ඩෙට තමා මට මුලින්ම ආසා හිතුනේ. මම එදා බැලුවෙ පෙරහැර නෙවී, ඔයයි ඔයාගෙ මේ දිග කොණ්ඩෙයි දිහා. ඇත්තටම මට මතක එච්චරයි...” අවුරුදු එකහමාරකට විතර ඉස්සර දවසක සුසන්ත අනෝමාට ළංවෙලා ඇගේ කෙහෙවලිය පිරිමදිමින් මුමුණපු හැටි ඇයට මතක් වෙනවා. ”මේ කොණ්ඩෙ බෙල්ලට වෙන්න බැඳලා ඔයා එදා උසාවියට ඇවිත් හිටිය වෙලාවෙත් ඔයාව කැපී පෙනුනෙ මේ කොණ්ඩෙ නිසා. නඩුකාරයත් පුදුම වෙන්න ඇති ඔයා වගේ ලස්සන ගෑනියෙක්ව දික්කසාද කරන්න එකඟ වුණ මිනිහා ගැන...” තව දවසක් අනෝමගෙ ඇස් දෙකට එබිලා සුසන්ත නිවුණු තැන්පත් හඬින් කී හැටි අනෝමට අමතක නැහැ.
 
 ”කොණ්ඩෙ යනව නම් බේතක් ගන්න. කෙසේ රොදවල් එක්ක කෑම කණ්ඩ මට බැහැ. ඒ මුකුත් බැරි නම් ඕක කපල දානවා. බූ ගෑවත් කමක් නැහැ. මළ ඉලව් කේෂ කලාපය” මාලකගෙ කෑගැහිල්ලට වහලෙ උළු පාත්වේවි කියලා හිතෙනවා. මාලක බීමතින් ආපු දවසට අනෝමට ගුටිබැට දුන්නෙත් ඒ කෙහෙවලියෙන්ම අල්ලගෙන. ”දරුවෙක් වදන්න තරං වාසනාවක් නැති ගෑනියකුට කොණ්ඩෙයි, පොත්තෙ රතයි ඔය මොනව තිබ්බත් වැඩක්ද? මූසලකමයි කාලකණ්ණිකමයි එක් වුණාම ඔය හැමදේම විනාශ වෙනවා...” ඒ අඳුරු අතීතය, ආපහු සැරින් සැරේ තමන්ගේ හිත පාරවන්නෙ ඇයි කියල අනෝමට හිතෙනවා. ”වළදමාපු අතීතයක් හාර හාර සුසුම් හෙළීම මම නම් දකින්නෙ මෝඩකමක් විදියටයි අනෝමා! අනේ ඒ විදියට මා දිහා නම් බලන්න එපා. මම හෘදයාංගමව ආදරය කරන මිනිහෙක්. වයසත් එක්ක ආදරේ මුහුකුරා ගියාම තමා ඒකෙ හරි වටිනාකම දැනෙන්නේ” සුසන්ත එහෙමයි අනෝමගෙ දෙගිඩියාව නැති කළේ.
 
 ඒ අවාසනාවන්ත කුලගෙයි අතහැර දාලා ආවේ බැරිම තැන, කරන්න දෙයක් නැතිම තැන ”අනෝමා, මෝඩ වෙන්න එපා. දරුඵල නැත්තේ මාලකට ද ඔයාටද කියල බලන්නවත් මාලක කැමති වුණේ නැහැ. ඉතිං ඇයි ඔයා දික්කසාද වෙලා යන්න හදන්නේ? ඒකෙන් වෙන්නෙ මේ මිනිහට තවත් නාඩගම් නටන්න ඉඩ ලැබීම. අපි යමු කාන්තා හිංසනයට විරුද්ධව නඩු දාන්න. පිරිමින්ට ඔය තරම් නියාලු වෙන්න එපා බං.”
 
 ශානිකා එහෙම කීවට ඒ ගිනි පුපුරන කුලගෙය ඇතුළෙ තවදුරටත් කොහොම ජීවත්වෙන්නද? ගුටිබැට, අවමන්, නොසලකා හැරීම්... මේවා හිතකට උහුලගෙන ඉන්න පුළුවන් සීමාවක් තියෙනවනේ. දැං ඒ සීමාව පැනලා ගොඩක් කල්.
 
 ඔය අතරතුරේ හිත හැදෙන්නයි කියලයි අම්මත් එක්ක නුවර පෙරහැර බලන්න ගියේ අනෝමා. සුසන්තගෙ නෙත හිත ඇතුළේ ඇය නොමැකෙන සටහනක් තැබුවයි කියලා ඔහු කියන්නෙ. ඒ වෙනකොට ඔහු හිටියෙත් දික්කසාද වෙලා. ”ඒ ගෑනි මහා වධයක් මට. වචනයක් අහන්නෙ නැහැනෙ මම කියන. ඔක්කොම වැඩ එයාගෙ තනි මනාපෙට. ඒකමයි මං වෙන් වෙන්න හිතුවේ. දූලා දෙන්නත් එයා ළඟටම ගියා” සුසන්ත, චාරුනී - එයාගේ මුල් කසාදයේ බිරිඳ ගැන කීවේ ඔය විදියට. අනෝමගෙ දික්කසාද නඩුවට උදව් කළෙත් සුසන්ත. එයා ඒ කාලේ වැඩ කළේ උසාවියේ. අවසානයේදී සිද්ධ වුණේ සුසන්ත අනෝමාට විවාහ යෝජනාවක් ගෙන ආපු එක.
 
 හිතුවිල්ලෙම අනෝමා අර කිව්ව ප‍්‍රමිතියටම හරිම සැලකිල්ලෙන් සුසන්තගේ තේ කෝප්පය හදාගෙන සාලෙට එද්දි සුසන්තගේ ජංගම දුරකථනය නාද වෙන්න ගත්තා. සුසන්තගේ අතේ ඉරිදා පත්තරේ නෙ. අනෝමා ඔහුට දුරකථනය අතටම අරන් දුන්නා. රූපවාහිනියෙ හඬ අඩු කරන්න කියලා අනෝමට අතින් සන් කරපු සුසන්ත දුරකථනය සමග දොඩමලු වුණා. ”හාලෝ කැලුම්! කොහොමෙයි?” සුසන්තගෙ මූණ එළිය වැටිලා ”ඉන්නව ඉන්නවා, වරදක් නැහැ ඉතිං ඔහේ ඉන්නවා” අනෝමා ආපහු කෙස් වැටිය ලිහිල් කරලා තෙත හිඳෙන්න විසිරුවල දාගත්ත. ”හරි හරි, අද හවස මට වෙන විශේෂ වැඩක් නැහැ මචං... මං එන්නම් මම එන්නම්. නෑ නෑ තනියෙම එන්නේ ඕකේ... ඕකේ... සී යූ දෙන්! ස්තුතියි ආරාධනාවට...” ඔහු හරිම සතුටින්. ”අද හවස මම නැහැ. ටිකක් රෑ වේවි එන්න...” ඔහු තේ කෝප්පය තොල ගාමින් පැවසුවේ අනෝමා දිහා බලමින්. අනෝමගෙ මුහුණෙ තියෙන ප‍්‍රශ්නාර්ථ ලකුණ දැකපු ඔහු ”පරණ යාළුවො කට්ටිය අද සෙට් වෙනවලු ටවුමෙ හෝටලේක කීවා.” මට ආරාධනාවක් නැද්ද?” අනෝමා සිනහවක් මූණට ආරූඨ කරගනිමින් ඇහුවා. ”එයාලගේ වයිෆ්ලා සේරම චාරුනීගෙ යාළුවෝ. ඉතිං එහෙම එකේ ඔයාව එතැනට ගැළපෙන එකක් නැහැ.” ඔහුගේම තීරණ... ඔහුම ඒවා අනුමත කරගෙන...”දැන් ඉතිං මම නෙ ඔයාගෙ වයිෆ්? ඒක හැමෝම දන්න දෙයක්නෙ. අපි නීතියෙන් විවාහ වෙලානෙ ඉන්නේ” පත්තරෙන් වැහිල තියෙන සුසන්තගෙ මූණ දිහාටයි අනෝමා වචන එල්ල කළේ.
 
 ”එතනට ඔයාව ගැළපෙන්නෙ නැහැ! එච්චරයි! යකෝ මේක කොයිතරම් තේරුම් කරල දුන්නත් වැඩක් නැහැනේ” සුසන්ත පත්තරය මේසය මතට දමා ගසමින් නැගිට්ටෙ ගිගුම් දෙන හඬින්.
 
 ඔහුගේ ඇස් දෙක විශාල වෙලා. කෝපයෙන් ගිනි අරන් වගේ ‘‘අනේ ඇයි ඔය තරම් කේන්ති ගන්නෙ?’ මං......... මං..." ඇයට කියාගන්න පුළුවන් වුණේ එච්චරයි. කඳුළු කැට කොපුල් තල දිගේ කඩාහැලූණා.
 
 ‘‘මේ...." ඔහු දබරැ`ගිල්ල ඔසවා තර්ජනාත්මක ස්වරයෙන් කතා කරන්න ගත්තේ පහත් හඬින්.
 
 ‘‘මේ මම කලින් ගෑනිව එලවල දැම්මෙ ඔය කඳුළු පෙරන එක මට පෙන්නන්න බැරි නිසා, හැමදේටම මා එක්ක තර්ක කරන්න ආපු නිසා, මගෙන් ප‍්‍රශ්න කරපු නිසා. ඒවා තමුන්ට මං කියලා ඇතිනේ. උඹත් මට ඕන විධියට හැදෙන්න බැරිනං මෙතනින් දොට්ට බැහැලා පලයං යන්න‘‘ ඔහු හති හලන්න ගත්තා. ‘‘එකියක් අතහැරදාපු මට තව එකියක් අත්හැර දාන එක කජ්ජක් නෙවෙයි. ඔහු අන්තිම වාක්‍යය කිව්වේ හෙණ පුපුරනව වාගේ. හරියට ලොකු කර්තව්‍යයක් ජයග‍්‍රාහීව අවසන් කරලා කියන උදාන වාක්‍යයක් වගේ. අනෝමා කඳුළු සලද්දි සුසන්ත ඉස්තෝප්පු කාමරයට වැදුණේ. මහ හඬින් දොර වසාගෙන.
 
 ‘‘ප‍්‍රශ්නයක් ආපු වෙලාවකට කරන්න තියෙන හොඳම දේ, සන්සුන්ව කතාබහ කරලා බේරගන්න එක. ඇයි මාලකට බැරි ඔයා වගේ අහිංසක චරිතයක් එක්ක ඕන දෙයක් සාමකාමීව බේරගන්න? මට නං ඒක තේරුම් ගන්න අමාරුයි.’’ මාලක ගැන ඔහුගේ අඩන්තේට්ටම් ගැන සුසන්ත ඒ දවස්වල කිව්වේ එහෙමයි. අනෝමට සිහි වුණා.
 
 ‘‘අනෝමා, උඹ ආපහු මෝඩ තීරණයක් ගන්නයි යන්නේ. පිරිමි නැතුව අපිට මේ ලෝකේ ජීවත්වෙන්න පුළුවන් ඕන තරම්. මෙන්න මේ මං වගේ කූල් එකේ හිටපංකෝ, ඔය එක එක පිරිමි මත්තෙ නැහෙන්නෙ නැතුව." ශානිකාගේ වදන් අනෝමගෙ කන්දෙක රිදවනවා. ‘‘ඒත් සුසන්ත, මාලක වගේ බොන කන, යාළුවො රොත්තක් පිරිවරාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. එයා හරිම සන්සුන් ප‍්‍රශ්න දිහා බලන්නෙ මැදහත් සිතින්.'‘ අනෝමා කිව්වේ දෙගිඩියාවකින් තොරව. ‘‘බම්බුව ඒවා ගැන මම දන්නෙ නැහැ. හැබැයි මම දන්න විදියට නම් පිරිමි සේරම හිතන්නෙ එකම විදියට. විශේෂයෙන්ම ආසියාතික පිරිමි....’’ ශානිකා එක්ක තර්ක කරන්න නොගියට එදා අනෝමා හිතුවේ ශානිකා හිතන්නෙ හරිම පටු විදියට කියලයි. හැම පිරිමියෙක්ම එකම මට්ටමෙන් මනින එක හරිද?
 
 ‘‘මට ඕන නිසංසලේ ජීවත්වෙන්න අනෝමා. චාරුනීගෙ හැමදේම හරිම වේගවත්. එයා ජීවත්වෙන්නේ හෙට ලෝක විනාසෙ සිද්ධ වෙනවා කියලා වගෙයි. මගේ නිසංසල ලෝකෙයි. ඒ කලබලකාරී ගතියයි එකට පෑහෙන්න නැහැ. අනෝමා ඔයාගෙ ඔය සන්සුන්, අහිංසකකමට මගේ හිත ඇදිලා යන්නේ ඒකයි. මම ඒ ගතියට හරිම ආදරෙයි." සුසන්ත අනෝමගෙ අත්ල පිරිමදිමින් කීවේ එහෙමයි. ඒ විවාහ වෙන්න අනෝමාගේ හිත ඇතුළේ තිබුණු දෙගිඩියාව ඔහු දැනගත්්තු වෙලාවෙන් පස්සෙ. අපි දෙන්නම ලෝකෙ තනිවුණු දෙන්නෙක්. ඒ නිසා අපිට පුළුවන් වේවි දුක සැප බෙදාගෙන, අවට ලෝකයෙ මිනිස්සු මොනවා කිව්වත්, අපි දෙන්නට දෙන්න ඉන්නවනේ කියලා එකතු වෙන්න’’ අනෝමා, විවාහ වෙනවද නැද්ද කියලා හිතමින් ළතැවෙන අතරේ, සුසන්ත, කැළඹුණු සිතට නිවී සැනසෙන්න උදව් කළේ එහෙමයි.
 
 අනෝමගෙ හිත ඇතුළේ මාලකයි සුසන්තයි කරණම් ගහනවා. අනෝමාට හිතා ගන්න අමාරුයි. තීරණයක් ගන්න අමාරුයි. "මට ඇත්තටම සුසන්තට ආදරෙයිද?’’ ඇගේ හදවත ඇගෙන්ම අහනවා ඇයට ඇහෙනවා. ‘‘ඒක ආදරයට වඩා වෙනස් හැ`ගීමක්. ගෞරවයක්, මානසික සහනයක් වගේ මොකක්දෝ හරිම මිහිරි හැ`ගීමක්.
 
 නීතියෙන් බැඳුනට පස්සෙ සුසන්තගෙ ‘‘විධිය’’ වෙනස් වෙන්න ගත්තෙ අනෝමටත් නොදැනීම. හරියට හඳ ඉල්ලලා නොසෑහෙන්න හඬපු දරුවෙක් කොහොම හරි හඳ ලබාගත්තට ඒක තවත් එක් සෙල්ලම් බඩුවක් බවට පත් වෙනවා වගේ වුණා කියලයි අනෝමට හිතෙන්නේ.
 
 දැන් දෙවැනි කසාදෙට අවුරුද්දක්.
 
 අනෝමා කරන හැම වැඩකම මොකක් හෝ දොසක් දකින එක සුසන්තට දැං පුරුද්දක් වෙලා. ඔහු ඒවා සමච්චල් ස්වරයෙන් කියලා දාද්දි පෑරෙන හිත, අනෝමා සන්සුන් කරගන්නේ ‘‘ඕව හරියාවි’’ කියන වචන දෙකට ඉඩ දීලා.
 
 මොනවා වුණත් මේක මගේ දෙවැනි කසාදෙ. මට මේකෙනුත් දික්කසාද වෙන්න අවශ්‍ය නැහැ. ඈ දුක හිතෙන, හිත රිදෙන හැම මොහොතකට හීනියට හැලෙන කඳුළු බිංදු පිහදාගෙන අමාරුවෙන් හිනාවෙන්නෙ එහෙම හිතාගෙන. ඊළ`ග මොහොතේ ඊටත් ආදරෙන් ඈ තම සැමියාට ළං වෙනවා. ‘‘අනෝමා මට මහන්සියි. උදේ ඉඳන් මං කොයිතරං මහන්සියක් වෙනවාද බිස්නස් එක දියුණු කරගන්න. ඊටත් අපි තරුණ පෙම්වත්තු නෙවෙයි නේ? මුහුකුරා ගිය ගෑනියෙක් විදියට හිතන්න පුරුදු වෙන්නකො." ඒ වචන සැර වැඩි වුණාට අනෝමා බොහෝම විනීත විදියට ඔහු ළ`ගින් ඈත් මෑත් වෙනවා.
 
 ‘‘කමක් නැහැ. මොනව වුණත් එයා බොන. බීලා ඇවිල්ලා මට ගහන්නෙ කරන්නෙ නැති කෙනෙක්නෙ’’ හිත ගොඩාක්ම රිදුණු සමහර වෙලාවට අනෝමා කඳුළු අතරින් හිත හදාගන්නෙ ඒ විදියට හිතලා. කාමරයේ දොර ඇරුණා. සුවඳ විලවුන් සුවඳින් හාත්පසම සුවඳවත් වුණා. ජැන්ඩියට හැඳ පැළඳගෙන, කොන්ඬේ පැත්තට පීරලා, හෙයා ක‍්‍රීම් ගාලා, දිලිසෙන සපත්තු කුට්ටමක් පයලා ගත්තු සුසන්ත අත් ඔරලෝසුව බඳිමින් කාමරයෙන් එළියට ආවා. පාටියට යන වෙලාවත් ඇවිත් කාමරයෙන් පිටවුණු ඔහු අනෝමා දෙස නොබලමින්ම එළිපත්තට පිවිසියා.
 
 ගල් ගැහුණු පිළිමයක් වගේ ඔහු දෙස බලා සිටිය අනෝමා නොදැක්ක ගානට ගෙමිදුලට පිවිසි ඔහු මාවතට පිවිස, නොපෙනී යනතුරුම අනෝමා බලාගෙන හිටියේ හිස් බැල්මෙන්. ඇයට දුකක් හෝ කනගාටුවක් නොදැනුණේ ඇයි කියලා ඇයටම පුදුමයි.
 
 ‘‘දෙවැනි කසාදෙ, පළවැනි එක, කියලා නැහැ බං. ඕකට අපේ කරුමෙත් බලපානවා ඇති’’ ශානිකා එහෙම කියලා මහ හයියෙන් හිනාවෙනව වගේ අනෝමට ඇහුණා.
 
 

Nissanka Rajapaksa

unread,
Sep 25, 2024, 8:51:16 PM9/25/24
to INDRAKA group
28
සුන්දරී 

- පවිත්‍රා අභයවර්ධන

මම කාර් එකට නගින්න කලින් මොනවත් අමතක උනාද කියලා බැලුවා. ගිය මාසෙ කාර්යාලෙ පුහුණුවකට ගිය කොරියානු සංචාරයෙදි ගියපු විවිධ තැන්වලින් ගත්තු පෝස්ට් කාර්ඩ් ටික හෑන්ඩ් බෑග් එකේ තිබුණේ අද එනවා කියපු දුලීට දෙන්න. ඇමරිකාවේ වසර කිහිපයක් ගත කරලා ආව දුලී ළඟත් මට දෙන්න ඒ වගේම මිටියක් තියෙන බවයි ඊයෙ යන එන වෙලාවල් කතා කරද්දි කිව්වෙ. 
දුලීයි මායි සුසිලා ඇන්ටිගෙ පැණිදෙණියෙ බෝඩිමේ සාමාජිකාවො. 
---------------------------------------
රට වටේ විවිධ තැන්වල අවුරුදු ගණන් ගත කරලත් තවමත් ජීවිතේ හොඳම කාලය ගැන හිතද්දි කැම්පස් එකේ සිසිල සුවය වගේම සුසිලා ඇන්ටිගේ බෝඩිම මතක් වෙන එකත් නවත්තන්න මට මෙච්චර කල් ගිහිනුත් පුලුවන් උනේ නෑ. අපි ගොඩක් අයට ගෙදරට වඩා රසට කාපු කාලෙ, ගෙදරට වඩා නිදහසේ හිටපු කාලෙ, ඒ වගේම බෝඩිමේ සමහර කෙල්ලන්ට නම් ගෙදරට වඩා අම්මෙක්ගේ ආදරේ වින්ද තැන උනෙත් සුසිලා ඇන්ටිගෙ බෝඩිම. 
සමහර විට ඇන්ටි කවදාවත් ඇත්තටම අම්මෙක් වෙලා නැති හින්දද මන්දා සැරවැර, නීති නැතුව පුංචි කෙනෙක්ගේ පොඩි නැන්දා කෙනෙක්ගෙන් ළමයි ඇත්විදින සැහැල්ලු, ආදරබර ගතිය විතරයි ඇන්ටි ළඟ තිබුණේ. අපි තෙමිල එනකොට චොක්ලට් දාපු උණු කිරි හදලා තියන්න, අපේ සෙමෙස්ටර් ප්‍රතිඵල ආව දවසට පිටින් කෑම ගෙන්නන්න, පෙරහැර කාලෙට දවස් ගානක් පාරවල් අයිනෙ අපි එක්ක ඉඳගෙන ඉඳගෙන පෙරහැර බලන්න ඇන්ටිට පුලුවන් උනේ ඒ නිසා වෙන්නැති.
අපි වගේ මධ්‍යම පාන්තික පවුල්වල කෙල්ලො පස් දෙනෙකුට ඉඩ තිබුණ ඒ බෝඩිමට පළවෙනි අවුරුද්දේ එන ළමයි දිගටම ඉන්න නිසා බෝඩිමේ හැමෝම අවුරුදු ගානක් ඉන්න නිත්‍ය සාමාජිකාවෝ මිස නිතර යන ඒන අය උනේ නෑ.
අපි යනකොට හිටපු චම්පා අක්කා උපාධිය කරලා ඉවරවෙලා පශ්චාත් උපාධිය කර කර පර්යේෂිකාවක් විදිහට වැඩ කරද්දිත් හිටියෙ බෝඩිමේ. ඇන්ටිගෙ මව් ගුණය, සැහැල්ලුව කාන්දු වෙලා වගේ එයා අපිට සැළකුවෙත් පොඩි නංගිලා ටිකකට වගේ. එයා කාර් එකේ වැඩට යන කොට එක එක පීඨවල කෙල්ලො බස්සලා යන්නත්, එයා හවසට පිටත් වෙන්න කලින් අපිට කතා කරලා එක්කගෙන එන එකත් එයා වැරැද්දුවේ නෑ. 
මුල කාලෙදි උඩ පේරාදෙණිය පාරේ වංගුවක් ළගට විතරක් එනකම් අපිව එක්කගෙන එන පෙම්වත්තු ගේ පේන හරියට නොආවත් ඒ හැමෝම ගැනත් ඇන්ටි දැනගෙන හිටියා. 
අපි ඒ බව දැනගත්තෙ සැරින් සැරේ ඇන්ටි කරන විහිළු වලින්. 
අපෙන් බෝඩිම් ගාස්තු විදිහට සැළකිය යුතු මුදලක් ඇන්ටිගෙ ගිනුමට වැටුණත් ඒ නැතත් ඇන්ටි අපිව තියාගනියි කියලා අපි හැමෝටම හිතුණේ නිකම් අපි ගෙදරම ළමයි වගේ උන නිසා වෙන්න ඇති.
ඇන්ටි සෑහෙන කාලෙක ඉඳන් බෝඩිම පවත්වාගෙන ගියපු නිසා සැරින් සැරේ දළදා වඳින්න යන ගමන් ආපු, පිටරට ඉඳලා නිවාඩුවට ලංකාවට ආව වෙලාවට දහසක් වැඩ අස්සේ ඇන්ටි බලන්න දුවලා ආපු කෙල්ලො වැරදුණේ නෑ. 
එයාලා ඇන්ටිට ගේන චොකලට්, ආලේපන, ආභරණ ඒ සැණෙන්ම බෙදුණේ අපි කට්ටියට. 
-------------------------------
මීගමුවේ කෙල්ලෙක් උන ඇන්ටි පේරාදෙණියේ කැම්පස් ආව ගමන් මේ ගෙදරත් අරන් නැවතුණේ නුවරම රස්සාව කරන්න ලැබුණ නිසා කියලයි අපිට කිව්වේ.
විශ්‍රාම අරන් හිටපු ඒ කාලෙත් සෑහෙන ලස්සනක් තිබුණ ඇන්ටි තරුණ කාලෙ ගිනි කිකිළි වගේ ඉන්න ඇති කියලා අපි විහිළු කළේ. නමුත් පෙම්වතෙක් ගැන වත් විවාහයක් ගැන හිතුවා කියලවත් කිසිම දෙයක් ඇන්ටි කවදාවත් කිව්වේ නෑ. 
සමහර බොහොම ලස්සන කෙල්ලො තමන් හොයන ප්‍රමිතිය වැඩි නිසාම තනිකඩව ඉන්න නිසා අපි කතා උනේ ඇන්ටිටත් එහෙම වෙන්න ඇති කියලා.
අම්මා තාත්තා නැති උනාට පස්සේ මීගමුවේ දේපළ අයියලාට විකුණලා තමයි ඇන්ටි පැණිදෙණියේ ගේ අරගෙන තනි නොතනියට කැම්පස් කෙල්ලො නවත්තගන්න පටන් අරන් තියෙන්නේ.
------------
මගෙයි දුලීගෙයි පෝස්ට් කාර්ඩ් පිස්සුව පටන් ගත්තෙත් ඔය බෝඩිමෙන්. දවසක් ඇන්ටි මහා පොත්, පෙට්ටි තොගයක් ඉස්කෝප්පුවට දාලා තිබුණේ වේයො බෝවෙන්න ඇවිත් නිසා.
හවස දේශන ඉවර වෙලා ආව අපි එතන නැවතෙද්දි ලස්සන කාර්ඩ් බෝර්ඩ් පෙට්ටියකින් එළියට අරන් තිබුණේ හරිම ලස්සන පෝස්ට් කාර්ඩ් ගොඩක්.
“අනේ මේ මොනවද?”
දුලීයි මායි ඒවා අතට අර‌ගෙන බැලුවේ සීනි බෝල බෝතලයක් අහුවුණ පොඩි ළමයි වගේ. එතන තිබුණේ එක එක රටවල ලස්සන තැන්වල පින්තූර තියන පෝස්ට් කාර්ඩ්. 
“කමක් නැද්ද ඇන්ටි බැලුවට?” දුලී ඇහුවේ ඒවයේ පිටපස්සේ මොනවහරි ලියලා තියෙන බව දැක්ක නිසා.
“කමක් නෑ, බලන්න” පරණ රෙදි කෑල්ලකින් එතන තිබුණ දේවල් පිහ පිහ හිටපු ඇන්ටි කිව්වේ ඔලුව වත් උස්සන්නේ නැතුව.
අයිෆල් කුළුණ, පීසා කුළුණ, ලන්ඩන් පාලම වගෙ අපි දන්න ප්‍රකට තැන් වගේම නොදන්න හරිම ලස්සන දර්ශන ඒ කාර්ඩ් වල තිබුණේ.  
හැම එකකම පිටිපස්සේ ඒ තැන ගැන ලියපු පුංචි සටහනක් පිටපස්සේ තිබුණේ “සුන්දරී” කියලා ඇමතුමෙන්. ලියලා තිබුණේ ලලිත්.
‘කවුද ඇන්ටි සුන්දරී?”
“මෙහෙ ඉස්සර හිටපු කෙල්ලෙක්”
“ලලිත්?”
“එයාගෙ කොල්ලා අනේ”
‘ඉතින් ඇයි අනේ මේවා මෙහෙ?”
“කාමරේ අමතක වෙලා ගිහින්. මාත් දෙන්න ඉන්නවා ආවම මටත් අමතක වෙනවා”
එදා රෑ වෙනකම් මායි දුලීයි කාර්ඩ් බැලුවා. නොදන්න කොයි දේත් හොයාගන්න ඒ කාලෙ අන්තර්ජාලෙ තිබුණේ නැති නිසා අපිට සමහර දේවල් හොයාගන්න බැරි උනත් යුරෝපයේ රටවල්වල ලස්සන තැන් ගොඩක් ඒ තියෙන්න කියන දේ හොයාගන්න බැරි උනේ නෑ. 
කවදහරි ලෝකෙ බලන්න යන්න, මේ තරම් ලස්සන දේවල් අපේ දූපතෙන් පිට තියෙනවා කියලා අපිට තදින්ම හිතේ රැඳිච්ච දවස වෙන්න ඇති ඒක.
දුලීගේ ඇමරිකාවෙ ගමනටත්, සල්ලි ටිකක් හොයාගත්ත ගමන් මමත් යන ගමන්වලටත් මුල් උනේ ඒ පෝස්ට් කාර්ඩ්වලින් දැක්ක චමත්කාරජනක ලෝකෙ තමයි.
------------
අවුරුදු හතරෙන් පස්සේ අපි තැන් තැන්වල විසිරුණා. ඒත් කට්ටියගේ මඟුල් වලදී, ළමයි දළදාවට භාර කරන්න යද්දි ඇන්ටිව බලලා ගියේ ලොකුම වන්දනාවක යනවටත් වඩා හිතේ සතුටෙන්.
අපි එනවා කියද්දිත් තමන්ගේ ළමයි එනවා වගේ අපි ආස කෑම හදාගෙන, අපේ පොඩි උන්ට තෑගි අරගෙන ඇන්ටි බලාගෙන හිටියා.
අද යන්නත් වචනයක්වත් නොකියා මගේ සැමියා, මහිමත් නිවාඩු දාලා එකතු උනේ එයාත් මගේ ජීවිතේ ඇන්ටි කොච්චර වැදගත්ද කියන එක දන්න නිසා වෙන්න ඇති.
-----------------------------
“සුසිලා ප්‍රනාන්දු මෙනෙවියට නිවන් සුව ලැබේවා”
ගෙදරට කළින් පාරේ හරහට තිබුණ බැනර් එක දැකලා මගේ ඇස් ආයෙ තෙත් උනා.
හදිසි හෘදයාබාධකින් ඇන්ටි නැතිවෙලා කියලා පණිවිඩය චම්පා අක්කගෙන් ආවෙ ඊයෙ.
මං බැහැලා යද්දිම කළින්ම ඇවිත් ඉදපු දුලී දුවගෙන ඇවිත් මාව බදාගත්තා. සැර පරුෂ අම්මෙක්ගේ දුවෙක් උන දුලී අපි ඔක්කොටම වඩා ඇන්ටිට සමීප උන බව අපි හැමෝම දැනගෙන හිටපු දෙයක්. 
ටිකක් අස් පස් කරන වැඩ කටයුතු වලට උදව් වෙලා, අවශ්‍ය වෙලා තිබුණ වියදම් ටිකක් කරලා අපි සාලෙ ඉඳගත්තා. අපේ කාලෙත් කළිනුත් පසුවත් බෝඩිමේ හිටපු කෙල්ලො වගේම ඇන්ටිගේ කාර්යාල සගයෝ සැරින් සැරේ ඇවිත් ගියා. 
ඇන්ටි වෙනුවෙන් කතා කරන්න ඥාතියෝ නොහිටපු නිසා ඇවිත් ඉන්න අයටත් කතා කළේ අපි.
----------------------
ලස්සන ඕකිඩ් මල් වඩමක් අරන් ආපු කෙනෙක් ඒක දේහය ළඟින් තිබ්බා. 
“අප්පො මම එහා පාරෙ වාහනේ දාගෙන ඉන්නම්. යන්න ලෑස්ති වෙලා කෝල් එකක් දෙන්න”
ඔහු හැරිලා එහෙම කිව්වෙ පිටිපස්සෙන් ආව පාංශු දේහධාරියෙකුට. ඔලුව වනපු ඔහු දේහය ළඟ නැවතුණා. දෑත් එකතු කරද්දි මැදඟිල්ලේ නවරත්න මුද්දක් දිලිසුණා.
“ලලිත්, මචං” එකපාරට පිටිපස්සෙන් ආව කෙනෙක් ඔහුට කතා කළා.
එතනම සෙටියක වාඩි වෙලා කතා කර කර හිටපු මායි දුලීයි මූණෙන් මූණ බලාගත්තා.
“අර ලලිත්ද? සුන්දරී ආවෙ නැද්ද දන්නෑ”
“බලන්න රීත් කාර්ඩ් එකේ, From Lalith and Sundaree කියලා තියෙනවනම් මෙයා තමයි. එහෙම උනොත් කතා කරමු”
මම නැගිටලා ගිහින් මල් වඩම බැලුවා.
“Farewell Sundaree,
With eternal love, Lalith"
දිගටි අකුරු මල් වඩම මැද දිළිසුණා.



Nissanka Rajapaksa

unread,
Sep 26, 2024, 8:40:23 PM9/26/24
to INDRAKA group
29
‘‘අලි බොටාගේ සාක්ෂිය’’

- ටෙරන්ස් වනිගසිංහ 
(Sunday Divaiana)

උසාවිය ඉදිරිපිට පරිශ‍්‍රයේ දෙස් - විදෙස් මාධ්‍යකරුවෝ සිය කැමරා අටවාගෙන කුතුහලයෙන් යුතුව බලා සිටියහ. ඇතුළත මාධ්‍ය ආවරණය සඳහා අවසර ලබා දී තිබුණේ එකම මාධ්‍ය ආයතනයකට පමණි. එය රාජ්‍ය මාධ්‍ය ආයතනයම වූයේ සුපුරුදු පරිද්දෙන්මය.
 
 මෙකී අවස්ථාව සැබැවින්ම සුවිශේෂී විය. අලියෙක් අදහස් ප‍්‍රකාශ කරන අයුරු ඇසුමට, බැලීමට කවුරු අකැමැති වෙත්ද...? සැබැවින්ම එය එසේම වන බවට මාසයක පමණ සිට කල් තබාම ශ‍්‍රව්‍ය - දෘෂ්‍ය මාධ්‍යයන් සැමකින්ම පාහේ ජනතාවට සන්නිවේදනය කොට තිබුණි.
 
 මාධ්‍ය ආයතන හා මාධ්‍ය කරුවන් අතර පැවතියේ තියුණු තරගයකි. ‘‘ඉක්මන්’’ හා ‘‘හදිසිය’’ තම තේමාව කරගත් ‘‘දඩි බිඩි’’ මාධ්‍ය ආයතනයක් මෙකී සිද්ධිය වාර්තා කිරීමට සූදානම් වූයේ කල්තබාම මෙම අලියා සොයා මූලික ප‍්‍රකාශන ලබාගෙන ජනතාවට ඉදිරිපත් කරන බවට වහසිබස් ද දොඩවමිනි. එසේ වුවත් අලියා ඉදිරිපත් කරන උදවිය අලියා සඟවා තැබුවේ අපරාධකරුවෙකු රට තුළම දේශපාලූවකුගේ සළුපට අස්සේ සැංගී සිටිනවාටත් වඩා සූක්ෂ්ම අයුරින් සඟවා තබමිනි. එකී නාළිකාව එම කි‍්‍රයාවද හෙළා දිටියේ ‘‘බිම්බෝම්බ සඟවන ප‍්‍රභාකරන්ලා’’ තවමත් සිටිනා බවට දෝෂ දර්ශනයට ලක් කරමිනි.
 
 සැබැවින්ම, අලියෙකු ලවා සන්නිවේදනය සිදුකළ යුතු බව පැවසුණේද තවත් තරඟකාරී නාළිකාවක් ගම් ගම් ගානේ ගොස් ගම්මුන් හමුවී ප‍්‍රශ්න, ගැටළු, අර්බුද ආදිය විමසුම් වැඩසටහන් පවත්වා තම ‘‘රේටිං අගය’’ ඉහළ දමා ගැනීමේ අර්ධ අමානුෂික වූද, ආර්ධ වාණිජමය වූද, ‘‘ගැමි සෙනෙහස’’ වැඩසටහනකිනි.
 
 එහිදී වල් අලි උවදුර ගැන ගැමියන් හා කරන ලද සාකච්ඡුාවේදී සෑම දෙයක් පිළිබඳවම සෘණාත්මකව හා අවඥාසහගතව බලන, කියන රැුවුලත් වවාගෙන, ලෙනින් ලෙස තොප්පියක් පැළඳ කඩ පොළේ සැරිසරන මහත්මයකු’’ යැයි පැවසෙන අයෙක් පැවසුවේ, ‘‘ඇයි ඕවා ගැන අපෙන්ම අහන්නේ... අලින්ගෙනුත් ඕක ඇහුවනම් හරිනේ...’’ කියාය. එතැන සිටි ගැමියන් සිනාසුණත් එම ප‍්‍රචාරක නාලිකාවේ ප‍්‍රධානියා ‘‘මෙය තවත් බිස්නස් එකක්...’’ යැයි කොක් හඬලා සිනාසුණේය.
 
 එපරිද්දෙන් අලියකු ලවා සංවාද කිරීමේ අදහස මතුවී, එය කි‍්‍රයාත්මක කිරීම දක්වා වැඩසටහනක් රාජ්‍ය, අමාත්‍යංශ දෙපාර්තමේන්තු මැදිහත් වීමෙන් එම නාලිකා සංවිධානය කළත් රාජ්‍ය ප‍්‍රචාරක නාලිකාව පැවසුවේ ‘‘හොඳම ටික’’ තමුනට ඕනෑ බවය. ‘‘හොඳම ටික’’ රාජ්‍ය මාධ්‍යට හිමිවිය. එතැනදී මෙතෙක් රජයට කඬේ ගිය හා මිතුරු වූ අන් පුද්ගලික නාළිකාවෝ රජයට පසමිතුරු වූහ. එනයින් අලි සංවාදය වඩාත් තියුණු හා තරගකාරී මට්ටමකට පෙරළෙමින් තිබුණි. නියමිත දිනය එළඹුණි. උසාවි භූමිය හාත්පස කල්තබාම ජනී ජනයාගෙන් පිරී ගියේය. ඇතුළේ ඩෙස්ක්, බංකු මත ඉහළ පෙළේ දේශපාලූවෝද, නිලධාරියෝද, බිරින්දෑවරුද පිරී සිටියහ. සාමාන්‍ය ජනතාවට වූයේ වෙනදා හිඳගත් බංකු පරිත්‍යාග කොට, එළියේ බිත්ති අයිනට වී බෙල්ල දිගු කරමින් දෑස් ගෙඩි උලූප්පමින් නඩු ඇසෙනා විදිහ නරඹන්නටය.
 
 දැවැන්ත වල් අලියා කඹ, දම්වැල්, පාද වලට, බෙල්ලට දමා, ඇත්ගොව්වන් පස් දෙනෙකුගේ රැකවරණය යටතේ රැගෙන එන ලදී. මාධ්‍යකරුවෝ යුහුසුළු වූහ. කැමරා ප්ලෑෂ් එළි සිය ගණනක් පත්තු විය. අලි ගොව්වන්, අලියා ළඟ තබා ඡුායාරූප ගත්තේ ඊළඟ දින මුල්පිට සරසන සුවිශේෂී ඡුායාරූප පුවතක් ලෙසටය. රූපවාහිනී නාළිකාවක් ඒ අවු අස්සේ තම සජීවී විකාශය අතරේ තොඳොල් නිවේදිකාවක් යොදවා අලින්ගේ ජීවයේ සමාරම්භය ගැන කරුණු ගෙනහැර දක්වන ලදී. ඇය පැවසූ පරිදි ජනතාවට වැටහුණේ ඌරාගෙන්, අලියා උපත ලද බවයි. ඇය පැවසුවේ ඌරාගේ හොම්බ, අලියාගේ හොඬය බවට දික්වුණ බවත් සිරුර විශේෂ තෘණ වර්ගයක් කෑම නිසා මහත් වූ බවත්ය. අසා බලා සිටියෝ එයට මරු මරු උත්තර බැන්දාහ. ඒ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර නාලිකා වලට, ඒ ප‍්‍රධානීන්ට නොඇසෙන, නොපෙනෙන නිසාවෙන් කමක් නැතිය. නැතිනම් ඉන් අඩක්ම තිබුණේ ඒ ප‍්‍රධානීන් හා නිවේදකයින්ගේ ආදරණීය වූ ‘‘මෑණියන් දෑ වරුන් සිහිපත් කිරීමේ සොඳුරු’’ වදන්ය.
 
තවත් නාලිකාවක් අලියාගේ නැට්ට ජනතාවට පෙන්වීය. එම නැට්ටේ මයිලක්වත් නැති හැටිත්, මිනිසුන් ඒවා ගලවා මුදු හදාගෙන පළඳින බවත් එම නාලිකාව විස්තරාත්මකව කීය. පෙන්වීය. අලියාගේ පස්සා පැත්තේ පිරිස පිරී සිටිනු දුටු අලියා කේන්තියට හා කින්ඩියට අලි බෙටි රැසක් වගුරුවා ලීය. මාධ්‍යකරුවන් බේරුණේ යාන්තමිනි. එසේද වුවත් තවත් මාධ්‍ය නාලිකාවක, නිවේදිකාවක්, කෝටුවක් ගෙන උණු අලි බෙටි පහුරු ගාමින්, අලින් මිනිස් වාසයට පැමිණි පසු පොලිතින්, ප්ලාස්ටික් කා දමා ඇති දැයි අපූරු විමර්ශනයක්ද සිදු කළාය. අලියා බෙටි දමා හා මුත‍්‍රා කර නිමාවන තෙක් සුළු ප‍්‍රමාදයක් ඇති විය. සෙනඟ ද ආරක්ෂක හමුදා පෙරළා ගෙන, ඒ දෙස බැලීමට උනන්දු වූයේ ඕනෑ එපා හැම දෙයක්ම අසා බලා කීමේ නොතිත් ආසාවෙනි. ඇතැමුන් පැවසුවේ ඒ අලි බෙටි ලොකු බවය. රැකබලා ගත්තවුන් කෑම නොදී ඇති බවට දොස් නැඟු ඇතැමෙක් රජයටද ආඩපාලි කීවේ, පරිසරය විනාශ කරන්නවුන් ඡුන්ද වෙලේ ළං කරගෙන දැන් පරිසරය විනාශ කිරීමට ‘‘රාජ්‍ය ලයිසන්’’ දීමෙන් දැන් ගහ කොළ ද විනාශ වී සතුන්ට ආහාර හිඟ වී ඇති බව පවසමිනි.
 
 උසාවියේ වහලය ගලවා අලි ප‍්‍රවේශය සඳහා විශේෂ කොට සකස් කර තිබුණි. වෙනමම වේදිකාවක් ද තනා තිබුණි. අලියා එහි පැමිණියේ උජාරුවෙනි. අලියා පැමිණි පසු තැන තැන තම සේවාදායකයින්ගෙන් ‘‘අල්ලස් නොවන’’, ‘‘සේවා ගාස්තු’’ වන මුදල් දාහ - හමාර කොටා ගනිමින් පුස් ගඳ ගහන කබාවල සාක්කුවලට ඔබා ගනිමින් සිටි නීතිඥ මහත්වරුන් ද උසාවි ඇතුළට විත් වාඩි ගත්හ. ඒ සමගම නඩුකාරතුමෝ පැමිණියේ තෝල්කගේ උසාවිය, නිශ්ශබ්ද වෙනු’’ යන ගොරහැඩි තියුණු හඬ සමගය. ඔහුගේ කෑ ගැසුමට අලියා ද සලිත වී ගියේය. හොඬය හා වල්ගය කීපවරක් දෙපසට සළා ඌ තම කෝපය පාලනය කර ගත්තේය.
 
 මුලින්ම ඇසුවේ අලි නඩුවය. පැමිණිලිකාර පාර්ශවයෙන් අලියෙක් පාගා මරාදැමූ ගොවියෙකුගේ බිරිඳක්ද, උදෑසන ගමේ පාසලට යාමට ප‍්‍රථම කැලයට වැසිකිළි ගිය දරුවකු පාගා මරා දැමීමෙන් පසු පවුලේ තනිවූ සොයුරියද දාසය වතාවක් තම වගාවන් අලින් හානිකළ අසරණ ගොවියෙක් ද, අලි සංරක්ෂණය නමින් එන්.ජීයෝවක් අටවා ගෙන පිටරටින් මුදල් කඩා වඩා ගෙන අලින් තබා අලි බෙට්ටක් නොදුටු කාඩරයෙක් ද, වන අලි මිනිස් ගැටුම ගැන නගරයේ කාර්යාලයේ සිට වැඩිපුර ලියූ කියූ මාධ්‍යවේදිනියක් ද අලියාට විරුද්ධ පසින් වූහ. අලියා හිස හරවා ඔවුන් දෙස බැලූවේ ‘‘උඹලාද මේ අපට කෙළවන්නට එන්න හදන්නේ....? යැයි අවඥා සහගතව මෙනි.
 
 අලියා අසලම සිටියේ වයෝවෘද්ධ මහාචාර්යවරයෙකි. සත්ව සන්නිවේදන ගැන ඔහු කප්ගසා තිබුණි.
 
 වේලාව අපතේ නොයවා පැමිණිල්ල ඉදිරිපත් කරමින් කෝට් සාජන් බංඩා මහතා පැවසුවේ වන අලි පහරදීමේ මරණ තිස් දෙකක් ද, වගා පාලූ හයසිය හතළිස් හතරක්ද බිය වැද්දීම් හා මරණ තර්ජන තුන්සිය තිහක්ද, වාහන අලාභහානි දාසයක්ද, රාති‍්‍රයට නිදා ගැනීමට බාධා කිරීම් පහළොවක්ද, පරිසර විනාශ කිරීම් විස්සක්ද, අයුතු ඇතුල්වීම් පනස් දෙකක් ද, රාජකාරියට බාධා කිරීම් විසි අටක්ද ආදී වශයෙන් පැමිණිලි රැසක්ම පොලිස් පොතේ සටහන් වී ඇති බවයි. අනතුරුව ඔහු ඒවා අධිකරණයට ඉදිරිපත් කළේය. නඩුකාරතුමෝ, මහාචාර්ය තුමාගේ උගත්කම හා පළපුරුද්ද, විශේෂඥතාව විමසූහ.
 
 ‘‘ස්වාමීනි, මම වන්නිකරේ අලියාවැටුණු වැව ගමෙන් ශිෂ්‍යත්ව විභාගේ සමත් වෙලා අගනුවර පාසලකින් උසස්පෙළ හදාරලා පේරාදෙණිය විශ්ව විiාලයෙන් පශු වෛi විiාව හදාරා පී. එච්. ඞී. එක එංගලන්තෙදි සම්පූර්ණ කළා. සත්ව සම්භවය, හැසිරීම හා සන්නිවේදන විධි ක‍්‍රම ගැන මම නිබන්ධන ලිව්වා. ඒ පර්යේෂණ මට වැදගත්. ඒ වගේම මම වසර දෙකක් ඉන්දියාවේ හිමාලය අසබඩ සෘෂිවරයෙකුගෙන් සත්ව භාෂාව පිළිබඳ ඉගෙන ගත්තා. මේ අලියා මට පින්නවල අනාථාගාරයේදීයි හමු වුණේ. එයා ගෙනත් තිබුණෙත් අපේ ගමේ කැලෑවෙන්. ඒ කාලේ දඩබ්බරයි. දැන් අනිත් අයට වැඩිය හීලෑයි. කියන දෙයක් වහා අවබෝධ වෙනවා. මම ඉතින් එයාට ඉගැන්වූවා ආපිට පිළිතුරු දෙන ක‍්‍රමය. මම පරිගණක උපකරණයක් තැනුවා. එයා පිළිතුරු සපයද්දී එයාගේ හොඬවැල මේ පරිගණක තැටිය මත තිබීම පමණක් ප‍්‍රමාණවත්.
 
 ‘‘ඔන්න බලන්න ස්වාමීනි, මම ඔහුගෙන් මේ ප‍්‍රශ්නය අහනවා. පිළිතුරු දෙන හැටි බලන්න.’’
 
 ‘‘අලි උන්නැහේ දන්නවද මේ ආවේ මොකටද කියලා...?
 
 ප‍්‍රශ්නය වහා වෙනත් අපබ‍්‍රංස අකුරු වැනි යමකින් පරිගණක තිරයේ සටහන් වූ අතර එය දුටු වහාම අලියා හොඬවැල පරිගණක තිරයේ තැබීය. මහාචාර්ය වරයා එය පිරික්සා බැලීය.
 
 ‘‘ අපේ ඥාතියෝ මිනිස්සුන්ට හිරිහැර කරලා තියෙනවා කියලා නඩු අහන්නනේ...’’
 
 සැවොම තුෂ්නිම්භූත වූහ. ඉන්පසු නඩුකාරවරයාද, කෝට් සාජන්ට් ද, නීතිඥවරුන්ද මහාචාර්යවරයා මගින් අලියාගෙන් ඇසූ ප‍්‍රශ්න හා පිළිතුරු පහත දැක්වෙයි.
 
 නීතිඥ සුනිල්, කි‍්‍රශාන්ත හා සුගිතා :-
 
 ‘‘ස්වාමිනී, ප‍්‍රථම කොට අප හඳුනාගත යුතුයි නිවැරදිව. මොහුම ද අපරාධකරු කියලා. ඒ නිසා නම අහමු...’’
 
 අලියා
 
 ‘‘ඔහේලා මට දාලා තියෙන්නේ අලියා කියලයි. මට වල් අලියා කියලා ඒක හරි නැති නිසා දැන් වන අලියා කියනවා. ‘‘වල්’’ හා ‘‘වන’’ කියන වචන දෙකේ තේරුම එකමයි. ඔහේලා හිතන්නේ ඔහේලා වාගේ වල් වැඩ කරන නිසා අපිත් වල් කියලද...?
 
 නීතිඥ පිරිස යළි කටවල් ඇරියේ නැත.
 
 නඩුකාරතුමා :-
 
 ‘‘වල් අලි උන්නැහේ ඔහේලට විරුද්ධව ඉදිරිපත් වෙලා තියෙන නඩු ප‍්‍රමාණය හොඳටම වැඩියි’’.
 
 වල් අලියා :-
 
 ‘‘ස්වාමීනි, අපි තිරිසන් සත්තු. අපේ ජීවනයේ මූලික දේවල් තමයි ආහාර, ජලය, පරිසරය. අපේ පරපුර පවත්වාගෙන යෑම. ඉතින් ඒවා නිිසි සේ නිදහසේ අපට නොලැබෙන විට, ඊට බාධා එල්ල වන විට, අප ඊට විරුද්ධව ප‍්‍රතිචාර දක්වනවා. සතුරා කවුදැයි අපට අදාළ නැහැ. අපට හිරිහැර වැඩිවන කොට උසාවියට නඩු වැඩි වෙනවා තමයි.’’
 
 නඩුකාරතුමා :-
 
 ‘‘වන සත්වයෙක් චූදිතයෙක් වෙලා උසාවියට ගොඩ වදින එක ගැන තමා මොනවද සිතන්නේ..?’’
 
 වල් අලියා
 
 ‘‘ඔබතුමා ඉතාම සාධාරණ හා ඤාණාන්විත ප‍්‍රශ්නයක් තමා විමසුවේ. අපට වගේම ලෝකයේ සිටින වන සතුන්ට, මිනිසුන්ගෙන් සිදුවන අපමණවත් ගැහැට ගැන කතා කරන්න කරුණු ඉදිරිපත් කරන්න සතුන්ටත් හිමිකම් ලැබීම ගැන ප‍්‍රශංසා කරනවා. මිනිසුන්ට පමණක් මානව හිමිකම් තිබෙනවා වාගෙම සතුන්ටත් සත්ව හිමිකම්, අයිතිවාසිකම් තිබෙනවා. ගැටළුව තියෙන්නේ සතුනට මේ ගැන කියා ගන්න බැහැ. සටන් වදින්න බැහැ. සටන් වැදුණොත් මිනිස්සු ඈත ඉඳන් බය ගුල්ලෝ වගේ සතුන්ට වෙඩි තබලා මරලා දානව. මේ වගේ අධිකරණයක් නොවෙයි. අධිකරණ ලක්ෂයක් හදලා බලන්න සතුන් වෙනුවෙන් ලෝකය පුරාම උන් ඇවිල්ලා උන්ගෙ දුක් ගැනවිලි, අයුක්තීන්, ආසාධාරණකම් කොච්චර කියාවිද කියා බලන්න.’’
 
 නඩුකාරතුමා :-
 
 ‘‘ඔබලාට තිබෙන ගැටළු මොනවාද?
 
 වල් අලියා:-
 
 ‘‘ස්වාමීනි, මිනිස්සු අපේ කැලෑ කප කපා අපේ නිදහස් භූමි අල්ලා ගන්නවා. අපට යන්ඩ - එන්ඩ, කන්ඩ - බොන්ඩ, නිදහසේ සැරිසරන්න බැහැ. ඔන්න ඉතින් අපියි - මිනිස්සුයි අතර ගැටුමක් නිර්මාණය වෙනවා.
 
 එහෙම වෙද්දි අපට කෑම - වතුර නැතිවෙලා අපි බඩගින්නට, පිපාසෙට ගම් වදිනවා. ඒක වරදක් තමයි. ඒත් ස්වාමීනි, තිරිසනා දන්නේ කෑම විතරයි. මේ කාගෙද, කොහොමද ආවේ කියලා දන්නේ නෑ. ඉතින් මිනිස්සු මේ කිසිත් නොදත් තිරිසනුන්ට වෙඩි තියනවා. හක්ක පටස් තියනවා. දැනටමත් මේ රටේ දිනපතා අලියෙක් බැගින් මිය යනවා. සංවර්ධන වැඩ වලදී අපි ගැන හිතන්නේ නැහැ. කෝච්චි පාර දාද්දී, ජලාශ හදද්දී, ගුවන් තොටුපල හදද්දී, තව දේවල් කරද්දී අපි ගැන හිතලා බැලූවද...? මිනිස්සු දන්නේ අපිට වෙඩි තියන්න විතරයි. මගේ මේ ඇෙඟ් කොච්චර වෙඩි උණ්ඩ, මූනිස්සම් තියනවද? කියලා කවුරුත් දන්නවද? මම ඉස්සරහ පිට මගේ අම්මයි තාත්තයි වෙඩි තියලා මරලා තාත්තගේ දළ දෙක යකඩ කියත් වලින් කැපුවේ තාත්තා පණ ගැහෙද්දී ලේ- පෙරි පෙරී... මං පොඩි එකා කැලෙ හැංගිලා බලා හිටියේ... මං ලොකු වුණාම මතක තියාගෙන ඉඳලා උන් ඔක්කොම පාගලා අත -පය කඩලා මරලම දැම්මා... හ්ම්ම්... එහෙනම්...’’
 
 අලියා කෝප වී දඟලන සේයාවක් දුටුයෙන් මහාචාර්යවරයා හෙමින් හොඬ වැලට තට්ටු කොට චොක්ලට් ස්ලැබ් එකක් දුන්නේය. අලියා නිවුණු පසු නඩුකාරතුමා යළි ප‍්‍රශ්න කළේය.
 
 ‘‘හොඳයි ඔබම කියන්නකෝ මේකට විසඳුම්... නැත්තම්, අපට හැමදාම උසාවියේ නඩු තියේවි...’’
 
 වල් අලියා :-
 
 ඒකට නම් මක් වෙනවද...? මේ නීතිඥ මහත්වරුන්ට හොඳයිනේ.. විත්තියේ අපිත් එන්නේ නැති නිසා නඩු කල්යාවි. අපේ මහත්වරුන්ට හොඳයි...’’ ඒ ටික අලියා කීවේ ඇහැක් වහ ගෙනය.
 
 ‘‘ස්වාමීනි විසඳුම් දෙකයි...
 
 එකක් : මිනිසුන් අපෙන් ඈත් වී හිඳීම...
 
 දෙවැන්න : අපිව මිනිසුන්ගෙන් වෙන්කර ඈත්කර තැබීම...
 
 මේ දෙක කරන්න බැරි වෙන තාක්කල් අපි දෙගොල්ල ගැටේවි. මිනිසුන් බලවත් හින්දා තව ටික කාලෙකදි අපේ අවසාන එකාත් මියයාවි. නැහැ, මරා දමාවි. දැන්මම තබා අලි කෞතුකාගාරයක් හදලා තියන්න. අර මාළිගාවේ රාජා ඇතා, පනාමුරේ ඇතා වගේ රූප ලංකාවේ හැම තැන හදන්න...’’
 
 නඩුකාරතුමා :-
 
 ‘‘අපට අලි උන්නැහැලව ඈත් කරලා තියන්න පුළුවන් අලි වැටවල් දාලා විතරයි...’’
 
 අලියා :-
 
 ‘‘තුක්: විතරක් මට පේන්ඩ බෑ ඔය වැල් පොටවල්... ඒක අපි සදහටම නැති කරන්න මරා දාන්න හදපු යටි උගුලක්නේ... මං නම් කොටයක් දාලා ඔය වැල් කඩාගෙන මගේ ගමන යනවා. බඩගින්නට, ආදරයට බාධා කළාට ඕනි එකා කොහොම හරි වැඬේ කර ගන්නවනේ...’’
 
 නඩුකාරතුමා :-
 
 ඒත් ලෝකේ සම්ප‍්‍රදායක් තියෙනවනේ. වල් විදියට අසම්මත විදියට හැසිරෙන්න බැහැනේ...’’
 
 වල් අලියා :-
 
 ‘‘ඔබතුමා බලන්නේ මේ මිනිස් ඇසින්.. සත්තුන් ගේ කි‍්‍රයාකාරකම් දිහා සතුන්ගේ ඇසින් බලන්න. මට ආයෙත් මතක් කරන්න වෙනවා සත්ව හිමිකම් සම්බන්ධයෙන්... මිනිස්සු කුරිරුයි, ඔබතුමන්ලාත් ඒ කුරිරු මිනිසුන්ට උපකාර කරනවා... මේ නීතිඥයෝත් හැමෝමත් එකයි. මිනිසුන්ගේ වාසියට හැමදේම කරන්නේ. අපට බැහැ මිනිසුන්ට යටත් වෙලා, වහල් වෙලා ඉන්න. අපට අපේ නිදහස දෙන්න. මම අද මෙතනට ආවේ හොඳින් හරි නරකින් හරි මේ ටික කියා දෙන්නයි. ඔබලාට පුළුවන් මාවත්, අපේ පරපුරත් මරා දමන්න. ඒත් අපි, අපි වෙනුවෙන්ද අනික් සතුන් වෙනුවෙන්ද පෙනී සිටිනවා... අවසන් එකා දක්වා මේ සටන අරගෙන යනවා. අපේ නිදහස අපට දීපල්ලා...දීපල්ලා...’’
 
 වල් අලියා අවසන් ටික ප‍්‍රකාශ කිරීමේ දී මහා හෙණ ගර්ජනාවක් කළේය. රැස්ව සිටි සැවොම තැති ගත්හ. අලියා දැඟලූවේය. පොලිස් නිලධාරීහු තුවක්කු අතට ගත්හ. පශු වෛi හා වන සත්ව නිලධාරීහු නිර්වින්දන එන්නත් අතට ගත්හ. නඩුකාරතුමා අතින් සංඥා කොට ඔවුන් වළකා ලීය.
 
 වල් අලියා:-
 
 ‘‘ලිහිපියව් මගේ බැමි... උඹලා මාව බැඳගෙන මහ ලොකුවට සත්ව අවිහිංසාව ගැන කතා කරන්නේ...? අපිට හිංසා කළොත් තමයි අපිත් ආ පිට පෙරළා පහර දෙන්නේ. ලිහපල්ලා... මට කැලයට යන්න ඕනි... ලිහපල්ලා’’.
 
 වල් අලියට තදින් කේන්ති ගොස් තිබුණි. ඌ එහාට මෙහාට දැඟලූවේය. ඇඹරුණේය. අවසන මහා දුගඳකින් පිරී ගියේය. කවුරුත් නාස් වසා ගත්හ. වල් අලියා උණු අලි බෙටි උසාවි කාමරයේ දමමින් සිටියේය. නීතිඥවරු කෑ ගැසූහ.
 
 ‘‘ස්වාමීනි, උසාවියට අපහාස කරනවා. මේ බරපතළ අපහාසයක්...’’
 
 නඩුකාරතුමා නිහඬව සිටියහ.
 
 වල් අලියා හොඬ වැලෙන් තමා රඳවා සිටි කූඩුවට පහර දෙකක් දුන්නේය. ඒවා පරඬැල් මෙන් විසි වුණි. හොඬ ඔසවා නඩුකාර තුමාට ආචාර කළ වල් අලියා ආපසු හැරී එළියට යාමට පටන් ගති. ඌ බැඳ තිබූ දම්වැල් සිමෙන්ති පොළොවේ ගැටී මහා සද්දයක් නැඟුණි. කවුරුත් බිය, සැක ඇතිව පසෙකට වූහ. අලියා ගේට්ටුවෙන් එළියට යෑමට පෙර උගේ දිගු ලිඟුව දිගු කොට මුත‍්‍රා පාරක් ද දැමීය. ඌ නිදහසේ ඔහේ ඇවිදගෙන ගියේය. කිසිවෙකු ඌට බාධා කළේ නැත.
 
 



Nissanka Rajapaksa

unread,
Sep 27, 2024, 8:05:03 PM9/27/24
to INDRAKA group
30
කරපිංචා

මාතලේ මල­ර­න්බන්ගේ ‘කෝවි­ච්චේලෛ’ නම් කෙටි­කතා සංග්‍ර­හයෙන්

පරි­ව­ර්ත­නය – සර­ත්කු­මාර ගම­ඇ­තිගේ

හැන්දෑ යාමයේ වත්තේ වැඩ නිම වූ සැණින් කැලෑව අයිනේ කන්දට ගොස් එළුවන්ට කොළ කපාගෙන ආ පච්චමුත්තු ඒවා කුඩා මිටිවලට බැඳ එළු මඩුවේ වහලේ එල්ලමින් සිටියේය.

“කොන්දොස්තර මහත්තයා ඔයාව එක්කරගෙන එන්න කීවා…” කොන්දොස්තරගේ ගෙදර වැඩකාර කොළුවා එළු පට්ටියට පිටතින් සිටගෙන සිටිමින්, කෑ ගසා කී පණිවිඩයට කීකරු වී, යෙදී සිටි කාරිය හණි හණිකට නිමා කොට, පච්චමුත්තු කොලුවා පසුපසින් බංගලාව බලා පිටත්විය.

මහත්තයා තමා කැටුව එන්නට යැයි කියා කෙනෙකු එවීම පච්චමුත්තුට පමණක් නොව ඔහුගේ බිරියට ද ඉමහත් සතුටකි. ඒ බව ඇයගේ කටහඬින් ද ධ්වනිත වේ.

මහත්තයා දොරකඩට වී තමාව බලාපොරොත්තුවෙන් සිටිනා ආකාරය දැක හිසෙහි බැඳ තිබූ ජටාව ලිහා වම් උරහිසෙහි ලාගෙන අයිනෙන් අයිනෙන් ගොස් පසෙකින් සිටගත්තේය.

“අඩේ! ඇයි ඔතන හිටගෙන, පච්චමුත්තු ටිකක් ඇතුළට වරෙන් අප්පා…” අතින් අල්ලා නොඇද්දා විතර ය. මහත්තයා නිහතමානී ලෙස හැසිරීම ඔහුට නිකම් මොකක්දෝ වාගේය.

“මම මෙහෙම්ම ඉන්නම්” ඔහු තවමත් දෑත් බැඳගෙන දෙකට තුනට නැමීගෙන ය.

මහත්තයා ඔහුගේ අතින් අල්ලා ඇදගෙන බංගලාවේ ඇතුළු දොරටුව හරහා මුළුතැන්ගෙට එක්කරගෙන ගියේය.

ඉස්සරහා දොරෙහි එළිපත්තට ගොඩ වුණත් “ටිකක් පස්සට වෙලා ඉඳපන්” කියලා ගොරවන කොන්දොස්තර මහත්තයා, මාව බංගලාවේ ඇතුළු දොරෙන්ම එක්කරගෙන ගියා නේ…” මේ සැලකිල්ල කුමක් සඳහා ද යන්න ඔහුට ප්‍රහේලිකාවකි.

“ලැජ්ජා වෙන්නෙ නැතුව ඔහොම වාඩි වෙනවා. අඩේ… බිමින් නෙවෙයි ඔය බංකු කොටේ උඩින් වාඩි වෙනවා.”

කොන්දොස්තර බිරිය පොල්කටුවකට තේ කහට ටිකක් ද, කඩදාසි කැබැල්ලකට සීනි ටිකක්ද, ගෙනවිත් පච්චමුත්තු ඉදිරියෙහි තැබුවාය.

“වාඩි වෙලා තේ කහට ටික බොන්න. අපි පස්සෙ කතා කරමු.” මහත්තයා ඔහුව බංකු කොටය මත වාඩි කරවීය.

ඔහු වම් අත්ලෙහි සීනි ටික හලාගෙන දකුණු අතට පොල්කටුව ගෙන තේ බොමින් සිටින විට කොන්දොස්තර තැන කතාව ආරම්භ කළේය.

“මෙහෙ බලනවා පච්චමුත්තු, මහාමේරුව වගේ උඹ මට විශ්වාසයි.” බොහොම වැදගත් කාරණයක් කියන්නයි අඬ ගැහුවේ. තව සතියකින් අපේ ලොකු දුවගෙ මංගල්ලෙ. ඊයේ තමයි නැකැත් තුලා තීරණය වුණේ. ඉතුරු වෙලා තියෙන හයදොහ හැරෙන්නවත් මදි. දුවලගෙ අම්මට මංගල්ලේ මහ ඉහළින්ම ගන්න ඕනයි කියන්නේ….”

පච්චමුත්තු කටින් පිඹ පිඹ, තේ කහට ටික බිබී හිටියේ කොන්දොස්තර මහතාගේ කතාව කෙරෙහි මුළු අවධානයම යොමු කරගෙනය.

“බොහොම ඉහළින් ගන්න ඕන කියලා තමයි මගෙත් හිත. කොච්චර සල්ලි ගියත් කමක් නෑ. මට ලොකු තොරණක් ගහලා ලස්සනට සරසන්නට ඕන…”

පච්චමුත්තු කිසිත් නොකියාම ඔහුගේ කතාවට සවන් දීගෙන සිටියේය.

“ඔයා මල් සැරසිලි වැඩ හොඳින් දන්නවා නේ. කඩදාසි මල් ටික ඔක්කොම කපනවාද….?”

ගිරා මලිත්තන්, පියාඹන සිංහයන්, අශ්ව රථය, ගජසිංහ රූප, ඕන දෙයක් ඕන විදිහකට කපලා සරසන්නම්, මහත්තයාගේ පින නේ!”

ඔහුගේ සිත ධෛර්යවත් විය. කඩදාසි මල් සැරසිලි කීවොත් ඔහුට ඊට වඩා දෙයක් නැත.

“ඔව් පච්චමුත්තු, මම උඹ ම තමයි විශ්වාස කරගෙන ඉන්නේ, ඔන්න වැඩේ බාර දුන්නා. අමතර අත්උදව්වට තව දෙන්නෙක් කතාකර ගන්න. තව දවස් පහක්වත් නෑ. තොරණෙ වැඩේ නීට් එකටම තියෙන්නට ඕන. හැමදාම වත්තේ වැඩ ඉවරවුණ ගමන් හැන්දෑවට හැන්දෑවට ඇවිත් වැඩ කළාම ඇති.”

“අනිවාර්යයෙන්ම ඇවිත් ‘ටොප් එකටම’ වැඩේ කරලා දෙන්නම්.”

හිතේ සන්තෝසෙත් එක්කම ගිනි පෙනෙල්ලේ ගිනි පුපුරු විසිරී යන සේ වන වනා අඩියට දෙකට විත් ගෙදරට පා තැබුවේය.

ගෙදර පැමිණි ස්වාමිපුරුෂයා කී දේ ඇසූ බිරියගේ ද සන්තෝෂය ඉහ වහා ගියේය.

“මොන වැඩේ ඇරුණත් කමක් නෑ මහත්තයාගේ වැඩේ ඉහළින්ම කරන්නට ඕන…” දෙන්නා දෙමාල්ලන්ගේ එකම තීරණය එය විය.

වත්තේ තවත් හතර පස් දෙනෙක් අත්උදව්වට ගෙන තොරණෙහි වැඩේ ආරම්භ කළේය. දවල් දවසේ වැඩ නිමකර ගෙදර ආ පයින්ම බංගලාවට ආව ද තොරණෙහි වැඩ නිම කර ආපසු ගියේ රෑ එකොළහ ද පහුවෙලාය.

“මංගල තොරණ හැදුවාම සුරපුරය වගේ බැබළෙන හැටි බලතෑකි. මහත්තයා මෝටරයක් ගෙන්නලා ලයිටුත් දානවා කියලා කීවා. ඕනෑ කියූ හැම පැටන්නෙකෙන්ම සැරසිලි ටික කරලා දෙනවා….”

මංගල්ලයට තව ඇත්තේ දින දෙකක් පමණි.

තොරණ මුහුණතෙන් තුන්කාලක්ම මේ වනවිට සකසා අවසන්ය. මිනිස් උසට, මල්දම් කටින් ගත් ගජසිංහ රූප දෙකක් ද සැකසීමෙන් තොරණ බොහොම ලස්සන වේ යයි ඔහු සිතුවේය.

මෙවැනි පියාඹන අශ්ව රූප සහිත දේව රථයක් මාතලේ තේරු උත්සවයෙහි බොහොම අපූරුවට වීථි සංචාරය වූ හැටි ඔහුට හොඳින් මතකය.

ගජසිංහ රූප දෙකක් නොවරදවාම සැකසිය යුතුය යන ආශාවෙන්, නැවත දෙන පොරොන්දුව මත රූපයෙහි බ්ලොක් එක, කල් ඇතිවම අළහන්ගෙන් ඉල්ලාගෙන ඇවිත් තිබුණි. නිදාගන්නා විට බිමට එළන පඩංගු කැබැල්ල පිලෙහි බිම අතුරා, ඒ මත කාඩ්බෝඩ් කැබලි තබා, ආදර්ශ අච්චු එම කාඩ්බෝඩ් මත කොපි කරගෙන බොහොම සීරුවට රූපය කපාගත්තේය.

රෑ කෑම සඳහා ණයට පාන් ගෙන එන්නට ගිය බිරිය, හිස් අතින් ආපසු හැරී ආවාය.

“බණ්ඩා මුදලාලි පාන් ණයට දෙන්න බෑ කිව්වා.”

මෙය ඇසූ පච්චමුත්තු පුදුමයට පත්විය.

කරමින් සිටි වැඩේ එලෙසම දමා එවේලේම කඩයට දිව ගියේය.

බණ්ඩා මුදලාලිගේ තේ කඩයට දර සැපයීමේ කොන්තරාත්තුව බාරගෙන තිබුණේ මොහුය. දිනපතා හවස වැඩ ඇරුණ ගමන් දරමිටිය බැගින් ගෙනවිත් දමයි. පච්චමුත්තුට සිල්ලර බඩු ටික ණයට දෙන බණ්ඩා මුදලාලි දර සඳහා මාසයකට රුපියල් පහ බැගින් ඔහුගේ ණය ගිණුමෙන් අඩු කරයි. මොන දෙයක් ණයට ඉල්ලුව ද නෑ බෑ නොකියා දීමට මුදලාලි පුරුදුව සිටියේය.

“බණ්ඩා මුදලාලි ඇයි ණය දෙන්න බෑ කිවුවේ” යන සිතුවිල්ලෙන් යුතුව පච්චමුත්තු කඩය දෙසට දිව ගියේය.

මුදලාලි සිහිවූ විට පච්චමුත්තුගේ සිත පිරී ඉතිරී යයි. කඩයට ළඟා විය.

“ඇයි මුදලාලි අපේ උන්දෑට ණයට පාන් දෙන්න බෑ කීවේ…”

කඩේ කැෂියරය ළඟ වාඩි වී අත්දෙක බැඳන් සිටි මුදලාලි පච්චමුත්තුගේ පැනයෙන් විපිළිසරව නළල රැලිකර ගත්තේය.

“ඔව්… උඹ අපේ නෝනට දවස ගානෙ දර කපලා ගෙනත් දෙනවා කියලා පොරොන්දු වෙලා හිටියනේ. දැන් දවස් පහකින් කඩේ පැත්තේ ආවේ නෑ. අපි දර නැතුව මොන තරම් කරදර වුණාද….”

මුදලාලි තරහෙන් පුපුරන කාරණය ඔහුට අවබෝධ විය.

“තව දවස් දෙකක් ඉවසන්න මුදලාලි. සෙල්වරාසා මහත්තෙලෑ දෝනියැන්දගේ කටයුත්ත ඉවරවුණ හැටියේ දවස ගානේ ම දර ගෙනත් දාන්නම්…”

“අපිට කඩේ වැට දර නෑ. හෙටම ගෙනත් දාන්න බැරි ද?”

“හෙට මඟුල් ගෙදර කප්පරක් වැඩ. ඒක නිසා මම එතන නොවරදවාම ඉන්න ඕන…”

මුදලාලිගේ කේන්තිය ඉහවහා ගියේය. “මීට පස්සෙ කඩේ හතරමායිමේ එන්න එපා.” තර්ජනාත්මකව කියා සිටියේය.

මිට පස්සේ ණයට බඩු ලැබෙන්නේ නැත. අවුරුදු ගණනක් කරගෙන ආ ‘පාට් ටයිම්’ වැඩ ද මින්මතු නොලැබී යනු ඇත.

“සෙල්වරාසා මහත්තයාගේ ගෙදර මංගල්ලෙට වඩා මෙයාට දර ගෙනත් දමන එක ලොකු වෙන්නේ කෙහොමද?” පළවෙනි තැන දිය යුතු කාරණය තීරණය කළේය.

මම නැතුව කවුද මඟුල් තොරණ ගහන්නෙ…? ”බංගලාව සැරසුවේ කවුද?” කියලා එන එන කෙනා අහ අහා යාවි.

ඊයේ මහත්තයා ගෙදර ඇවිත් සිටියේය. සැරසිල්ල දැක ඔහු විමතියට පත් වූවාක් සේ සිටිවනම සිටගෙන සිටියේය. ඔහුගේ මුහුණ සතුටින් පිරී ගොස්ය. ඇස් දෙක ඉවතට ගන්නට තරම් හිතක් නැතුවාක් මෙනි. කීයක් ඕන දැයි ඇසුවේය. මෙපමණක් දෙන්නට යයි කියන්නට කට ඇරියේ නැත. ඔහු කිසිවක් නොවිමසාම රුපියල් පහක් පච්චමුත්තුගේ අතේ තැබුවේය. “පස්සේ බලලා තව ටිකක් දෙන්නම්” කියා ද පැවසීය.

වෙන කොහේ හරි මේ සැරසිල්ල කළා නම් මම රුපියල් පනහක් හැටක් ගන්නවාමයි” පච්චමුත්තු තමාටම කියා ගත්තේය.

රුපියල් පහේ කොළය බිරිය වෙත දික් කළේය.

“මොකේ… රුපියල් පහ ද දුන්නේ….? සුමානයක් තිස්සෙ කඹුරලා මදෑ හම්බවෙච්ච සොච්චම….”

“මම ඒ වැඩේ කළේ නිකන් බන්… මනුස්සයො ද සල්ලි ද වටින්නෙ? මඟුල්දාට බලපන් මහත්තයා මට සලකන විදිහ…”

බිරිය සමඟ බොහොම ආශාවෙන් මේ විස්තර කියද්දී තමාට හොඳ වෙට්ටියකුයි කමිසයකුයි නැති බව ඔහුට මතක් වුණේය.

කතා අතරමඟ නතර කළ ඔහු හණි හණිකට ඉහළ ලැයිම බලා දිව ගියේය. හදිසි ගමනකදී වෙට්ටියක් කමිසයක් ඕනෑ වූ විට එය පිරිමසා ගත්තේ ඉහළ ලැයිමේ සන්නාසිගෙන්ය.

සන්නාසි ළඟ අලුත් පෙනුම ඇති ටෙර්ලින් කමිස හතරක් පහක් ද වෙට්ටියක් ද සුරක්ෂිතව තබාගෙන තිබිණි.

සන්නාසිට දත නියවා මහත්තෙයාගේ ගෙදර මඟුලට යන්නට වෙට්ටියක් සහ බැනියමක් ලැහැස්ති කර ගත් පච්චමුත්තු ලහි ලහියේ මහත්තයාගේ බංගලාව බලා දිව ගියේය.

දවාලෙම ගොක් අතු ටික කපා දමන්නට ඕනෑ යයි ඔහු සිතා සිටියේය. වැඩ අධික නිසාම ඔහුට එය අමතක විය.

කල්පනා කර කර ඉඳීමෙන් පලක් නැත. මහත්තයා සම්පූර්ණ වගකීම පවරා තිබුණේ ඔහු වෙතය. රෑ කියා බල බලා ඉන්නේ කොහොමද?

ටෝච් එළියන් පොල් ගහට නැග්ගේය. ගොක්අතු කපා දමා ලහි ලහියේ පහළට රූටමින් සිටි අතර, බිමට අඩි පහ හයක් තිබියදී අල්ලාගෙන සිටි අත ලිස්සා ගියේය.

බිම ඇද වැටෙද්දී වාසනාවකට මෙන් වම් කකුල හරිහැටි පොළොවට වැදුණ නිසා දකුණු දණහිස ගලෙහි වැදී සුන්බුන් වී යාමට තිබුණු අවස්ථාව වැලකුණි. තුවාලවලින් ලේ වැගිරෙන්නට විය.

වේදනාව ගණනකට නොගෙන වැඩෙහි නිරතව සිටි ඔහු ගෙදර එනවිට මැදියම ද පසු වී තිබිණි.

විවාහ මංගල්‍යය අදයි. දහවල් කාලයේ නැකත යෙදී ඇත. මංගල උත්සවය මාතලේ කෝවිලෙහි ද පිළිගැනීම් සංග්‍රහ ආදිය සෙල්වරාසා නි‍ෙවසෙහි ද සිදු කිරීමට කටයුතු යෙදී ඇත. හැමදෙනාම පාන්දරින්ම කෝවිලට පිටත්ව ගියහ.

තවත් සුළු වැඩ කොටසක් ඉතිරිව තිබූ හෙයින් පච්චමුත්තුට කෝවිලට යා නොහැකිය. වැඩ නිමකර ගෙදර පැමිණි පච්චමුත්තු හණි පනිකට නා ගෙන, සන්නාසිගෙන් ඉල්ලාගත් ඇඳුමෙන් සැරසී, බිරිය ද සමඟ මඟුල් ගෙදරට ආවේ සවස හතර පමණ වන විටය.

තොරණෙහි අපූරුව දැක සතුටට පත් සෙල්වරාසා මහත්තයා, එය එපමණ වෙහෙසකින් යුතුව සැකසූ තමාට කිරීමට යන ප්‍රත්‍යොපකාර ගැන සිහින දකිමින් සතුටින් ගමන් කළේය.

විදුලි බුබුළුවලින් නිකුත් වන වර්ණ ජාලාවන්ගෙන් යුත් තොරණ සාඩම්බර පෙනුමකින් යුතුව දසුන් දෙයි. නයිලෝන්, ටෙට්රෝන්, ටෙරිලින්, නයිලෙක්ස් හා පට සළු ආදියෙන් නිම වූ අගනා ඇඳුම්වලින් ද ටුවිට් ඇඳුම් සහ කෝට්වලින් ද මඟුල් ගෙදර තව තවත් විසිතුරුව ඇත.

පච්චමුත්තු තම බිරිය ද සමඟ තොරණෙහි ද්වාරය තුළින් ඇතුළු විය. ඇතුළත සතුටු සාමීචියෙහි යෙදෙන්නන්… සිනහව… කතාබහ…

පසෙක වූ පටු තීරයක කෙළවර දෙදෙනා හිඳගත්හ. විනාඩි කිහිපයක් ගත වන්නට ඇත.

“අන්න මහත්තයා ඇතුළේ ඉඳලා එනවා. අපි දැකලා තමයි ඔය එන්නේ… ඇතුළට එක්කරගෙන යන්න වෙන්ටෑ…”

ඔවුන් අසලට ආ මහත්තයා පච්චමුත්තුගේ අත තදින් අල්ලා එළියේ පසෙක වූ හුදෙකලා තැනකට ඇදගෙන ගියේය.

“ඇයි පච්චමුත්තු අද මෙහේ ආවේ… කුලීකාරයින්ට මම ඉන්විටේෂන් දුන්නේ නෑනේ. ලොකු ලොකු මහත්තුරු, වැදගත් නිලධාරිවරු, ඒ පවුල්වල අය විතරයි අද මෙහෙට එන්නේ. හෙට හැන්දෑවට ඇවිත් මොනවාහරි ටිකක් කාලා යනවා. දැන් මොනවත් කරන්න බෑ…”

මහත්තයා නිවේදනය නිකුත් කර කවුදෝ උත්තමයකු පිළිගැනීමට ගෙතුළට ගියේය.

අනපේක්ෂිත ප්‍රතිචාරයෙන් ගල් ගැසී ගිය ඔහු තොරණ දෙස බලාගෙනම හුනස්නෙන් නැඟී සිටියේය.

https://www.silumina.lk/2024/09/21/news-features/25746/%E0%B6%9A%E0%B6%BB%E0%B6%B4%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%8F/






Nissanka Rajapaksa

unread,
Sep 28, 2024, 9:28:17 PM9/28/24
to INDRAKA group


සඳා 

-හසන්ති තුඩුහේන

මේ ගෙවී යන්නේ විශ්‍රාමි සුවය විඳින තුන් වෙනි සතිය යි. රජයේ බැංකුවක ප්‍රධාන කාර්යාලයේ මූල්‍ය උපදේශක තනතුරක ඉහළ පුටුවක‍ කටයුතු කර විශ්‍රාම ගෙන සති තුනක් ගෙවී ගියද මට දවස හරි හැටි ගෙවා ගැනීමට නිසි වැඩපිළිවෙළක්‌ තව ම සොයා ගැනීමට නොහැකි විය. සේවයට කැප වුණු, අවංක, නීති ගරුක නිලධාරියෙක් ලෙස කටයුතු කල මා කිසිදු දිනක අනවශ්‍ය නිවාඩුවක් ගත් දිනයක් මට මතක නැත. ගෙවි ගිය සේවා කාළය තුළ උපරිම වශයෙන් රැකියාව වෙනුවෙන් වැඩි වෙලාවක් වෙන් කල මා දරුවන් ගේ කටයුත්කතකදි වත් ලෙහෙසියෙන් නිවාඩුවක් ලබා ගෙන නැත. දරුවන් උස් මහත් වීම, ඔවුන්ගේ අධ්‍යාපනය, ඔවුන් විදේශ ගත වීම වගේම මගේ දෙමාපියන් සහෝදර සහෝදරියන්, නෑදෑ හිතවතුන් වෙනුවෙන් ද සිදු විය යුතු යුතුකම් හා වගකීම් යන සියල්ල කලට වේලාවට කෙසේ හෝ සිදු විය. මගේ මැදිහත් වීම සිදු වූයේ අඩුවෙන් වුවද ඒ සියල්ල කිසිදු අඩුවක් නැතිව සිදු විය. කාර්යබහුල රැකියාවක නියුතු ව සිට විශ්‍රාමික ව මේ ගෙවී යන තුන්වෙනි සතියේ ආරම්භයට මම වෙනදා මෙන් මුහුන දුන්නේ උදේ නැගිට මූණ සෝදා පිරිසිදු වි අලුත් ඇඳුමකින් සැරසී කන්නාඩි ඉස්සරහ හිටගෙන මා දෙස බලා ගෙන ය. විශ්‍රාමික වුවද මා තුළ එදා මෙන් ම තරුණ බවේ නෂ්ඨාවශේෂ ඇති බව මට දැනිණි. උසට සරිලන මනාව නඩත්තු කල සිරුරු ද කොට ට කපා ඇති කළු කෙස් වලට මුසු වූ සුදු කෙස් නිසා ද මා වෙත ලබා දුන්නෙ වියපත් පෙනුමක ට වඩා තාරුණ්‍යයේ අග සිටින දඩබ්බර කොලු පෙනුමකි. මග හැරී තිබුණු ව්‍යායාම වෙනුවෙන් යළිත් උදෑසන ඇවිද යා යුතු යැයි සිතූ මම ඉස්තෝප්පුවට පැමිණ පුටුවේ වාඩි වුණේ පුවත් පතට දෑස් යොමු කරමිනි. 

 වැඩි වෙලා යන්නට පෙර ඇයගේ කපු සාරියේ සර සර හඬ ඇසුණි. ඒ සමග ම ඇය තුළින් නැගෙන මෘදු බේබි ක්ලෝන් සුවඳ දැනෙන්නට වුණි. මා හිඳ සිටි පුටුව අසල දොරින් මතු වූ සඳා, ඇය රැගෙන ආ තේ කෝප්පය අසල තිබු කනප්පුව මත තබා පීරිසියකින් වසා නිහඬව යළි ඇතුලට ගියේ ඇයගේ සුවඳ ඉතිරි කරමිනි. හැඳ සිටි ලා කහ පැහැති කපු ඔසරියේ පොට පුරුදු ලෙසම ඇයගේ ඉණ වටා එති තිබුණි. නිසි පරිදි හැඩ ට රැළි තැබු නෙරියට උඩින් නිරාවරණ වූ, ඇයගේ ක්‍රීම් පාට බඳ ද හැට්ටය හා ඔසරි පොට අතරින් පෙනෙන උරහිස් ද, පිට ද පුවත් පතට යොමු වූ උපැස් යුවල උඩින් ඇස් යොමා මම බලා ගත්තේ ඇයට හොරෙනි. පිට මැදට වන්නට උකුලෙන් පහළට වැටෙන සේ ගොතා තිබුණු සඳාගේ කොන්ඩයේ තැනින් තැන සුදු කෙස් එක දෙක තිබුණ ද මගේ තරම් ඇයගේ කොන්ඩය සුදු වී තිබුණේ නැත. ඇයට යන්නට හැර ඇයට හොරෙන් පිටු පසින් ඇය දෙස බැලූ මම පුවත් පත තබා තේ කෝප්පය අතට ගෙන නැගිට ඉස්තෝප්පුවේ පඩි දෙක බැස සඳා විසින් මනා ව අතු ගා තිබුණු මිදුල වෙත පියමං කරේ කොළ පාට ගස් අතරේ හා නිල් පාට අහස අතරේ ඇස් යවමිනි. කරන්නට වැඩක් නොවූ තැන මගේ ඇස් නිතරම සඳා පස්සෙන් වැටුණ බව මට දැනෙමින් තිබුණි. මෙච්චර කාලයක් සඳා ගැන හිතන්න, සඳා ව හරි හැටි දකින්න වෙලාවක් හදා නොගත් මම දැන් දැන් සඳා ව දකිමින් විඳිමින් හිටියෙමි. 

රෑ බෝ වන තුරුම නිවසේ කුදු මහත් සියලු කටයුතු සිය දෑතින් ම කරන සඳා අඩ අදුරේ ම යහන වෙත එන්නේ සුපුරුදු සුවඳ එක්කම ය. මගේ අනික් පසින් හිමින් සීරුවේ ඇඳට ගොඩ වන සඳා  සෑම විටම ඇයට අනික් පස හරවා නිදන මා දෙස බලා සිටින වග මට නොදැනුනා නොවේ. යළිත් ඉර නැගෙන්නට පෙර අවදි වන සඳා ඇඳෙන් බැස යාමට පෙර අඳුරට හුරු දෑසින් මා දෙස මොහොතක් බලා සිටින බව ඇය දෙසට හැරී නිදන මා අඩවන් දෑස් වලින් දැක තිබුණි. ඇඳෙන් බැස සිය දිගු කොන්ඩය ගැට ගසා ගන්නා සඳා කාමරෙන් නික්ම යන්නේ දවසේ වැඩ පටන් ගන්න වග මම දැන ගෙන හිටියෙමි. බලාපොරොත්තු නොවුව ද මා නැගිටින විට කාර්යාලට යාමට අවශ්‍ය දේවල් ද ඇය සෑම දිනකම සුදානම් කොට තැබුවාය. ඇය සුදානම් කොට තබන මගේ ඇඳුම් පැළඳුම් හා අනික් අවශ්‍යතා නිසා පහසුවෙන් ම ලැහැස්ති වි පිටත් ව යාමට මට හැකිය. උදේ ම අවදිව පිරිසිදු වන සඳා ඔසරිය හැඳ කොන්ඩය ගොතා දවස ආරම්භ කළාය. මගේ ආහාර පාන ද අනික් අවශ්‍යතා ද සුදානම් කොට, දරුවන් ද සුදානම් කර, ඇය ඇයගේ ඒ සියලු වගකීම් නොපිරිහෙලා ඉටු කළා ය. මා විශ්‍රාමික වුවද සඳා පුරුදු පරිදි ඒ වෙලාවට ම නැගිට ගියා ය. 

සඳාගේ තේ කෝප්පය එකම රසයකින් යුක්ත විය. එය ගෙවි ගිය අවුරුදු ගනනකට ම වෙනස් නොවුණි. සතියේ දින බෙදා වෙන් කර ගෙන තේ, කෝපි, කොළ කැඳ ආදිය  මෙන් ම කෑම වේල් පවා මගේ කැමැත්තට අනුව සාදා දෙන සඳාගේ ඉවුම් පිහුම් කලාව ගැන අපවාද කියන්නටවත් අඩු පාඩු කියන්නටවත් කිසිදු දිනක සිදු වූයේ නැත. 

මා තේ කෝප්පයේ ඉතිරි මංඩි දෙස බලා සඳා ගැන සිතුවේ අතීත මතක අලුත් වෙන අතරේ ය. විවාහ වූ හැටියේ ම වෙන ම ගෙදරක‍ට පදිංචි වීමට සිතා මා සාදා නිම කල මෙම නිවස වෙත සඳා හා මා පැමිණි මුල් දින වල ඇය මට තේ කෝප්පය රැගෙන විත් කතා කලද මගෙන් ඊට ලැබුණු ඇල් මැරුණු ප්‍රතිචාර වලින් පසු ඇය නිහඬව ම තේ කෝප්පය මා අසලින් තබා යන්නට පටන් ගත්තා ය. තරුණ විවාහක බිරිඳක් ලෙස එදා ඇයට අවශ්‍ය වූයේ තේ කෝප්පය අතට ගෙන ඇයව ආදරෙන් ඇමැතීමක් වගේ දෙයක් කියා මට දැනුණි. එහෙත් ඇය වෙත එසේ ආදරය පෑම මට කල නොහැකි වූ හේතුව වූයේ හද පුරා ලැගුම් ගෙන සිටි වෙනත් අයකු නිසාය. හැඟීම් දැනීම් ඇති තරුණ බිරිඳක ලෙස මගෙන් නොලැබෙන ආදරණීය ප්‍රතිචාර නිසා, ඇය තේ කෝප්පය සේම මගේ සියලු අවශ්‍යතා කලට වෙලාවට මට පෙනෙන දුරින් සිට සපුරා ලමින් කිසිදු මැසිවිල්ලකින් තොරව නිහඬව බලා සිටියා ය. එදා සිට අද දක්වා බලා සිටින්නී ය. 

නිදි යහනේ දි මට අවශ්‍ය වූ විටෙක ඇය හා ආලිංගනයේ යෙදුන ද, ඇය ඉන් සතුටු වුවා ද නැද්ද යන්න පිළිබඳව ව මට වගක් නොවීය. ඇය ඒ හැම අවස්ථාවකදීම මා වෙනුවෙන් සිය සිරුර ද හැඩ ගස්වා ගත්තා ය. එවන් එක් වීම් වලින් හා පවුල් ජීවිතය සම්පූර්ණ වීම වෙනුවෙන් පුතුන් දෙනෙකු බිහි කලද මා තුළ ඇය පිළිබඳ ව ආදරණීය හැගීමක් ඇති නොවූ බව සඳා ද දැන සිටි බව මම දනිමි. නැති නම් ආදරය දැනුනද මා එය ඇයට දැනෙන්න නොදුන්නා විය යුතුය. මගේ පසෙකින් නිදන ඇයට, පිටු පා මා නිදා ගත්ත ද ඇය සමහර රැය වල් පුරා හෙලන සුසුම් මට නොදැනුනාද නොවේ. 

මා නැගිට නිවස තුළට ගියේ තේ කෝප්පයත‍් රැගෙන ය. නිවස සන්සුන් ය. කවදත් සඳා නිවස පිලිවෙලට හා පිරිසුදු ව තබා ගත්තා ය. කිසිදු අත් උදව්වක් කිසිවකුගෙන් වත් නොමැතිව නිවස පුරා තබා තිබුණු ඒ සිරියාවන්ත පාට සඳා ගේ ඇල්ම බැල්ම නිසා බව මට දැනුණි. මා මුළුතැන්ගේ දෙස ට යන විට සඳා එහි ඇතැයි බලාපොරෝත්තු වුවද ඇය එහි නොසිටියා ය. මා සඳා ගේ විඳියට ම ඒ පිරිසිදු පිළිවෙල මුළුතැන්ගෙයි මේසය මත තිබුණු වේවැල් කුඩය ඔසවා බැලුවෙමි. තැම්බූ මුං ඇට ද, ලුණු මිරිසක් ද පොල් ද එහි විය. එහෙත් සඳා නොවීය. මා මුළුතැන්ගෙයි දොරින් පිටතට පැමිණ එළියේ පිල උඩ සිට ගෙන වත්ත දෙස බැලුවේ සඳා දකින රිසියෙනි. 

වත්තේ මැදට වන්නට පොල් අහුලමින් සිටියේ සඳා ය. ගහෙන් බිමට පොල් වැටෙන සද්දෙන් කවුරුන් හෝ පොල් කඩන බව දැනිණි. ටික වෙලාවකින් ගහෙන් බිමට බහින පොල් නිමල් සඳා සමග පොල් ගොඩ ගසන අයුරු ද මම බලා සිටියෙමි. සඳා පොල් නිමල්ට පොල් ලේලි ගැසීමට පවරා නිවස දෙසට එන්නට පටන් ගත්තේ බිම තිබු කොස් ගෙඩියක් ද අතින් ඔසවාගෙන ය. පිලට කිට්ටු වන විට ම මා දුටු සඳාගේ ගමනේ වේගය අඩු වූ අතර ඇය පිල් කඩ පාමුල කොස් ගෙඩිය තබා නිවස තුළට ගොඩ වුණේ සාරි පොටින් බෙල්ලේ දාඩිය පිස දමමින් මා අසලින් මා දෙස නොබලා ය. ඇය එසේය. කාළයක් ම ඇය මගෙන් ආදරණීය අවධානයක් ඉල්ලා සිටියේ නොයෙක් දේ කරමිනි. එහෙත් ඇයට ඒ ආදරණීය බව තබා අවධානයවත් ලැබුණේ නැති තැන ඇය මා දෙස බැලුවේ ද මා අසලින් සිටියේ ද අපහසුවෙන් බව මට දැනුණි. ඇය ඒ බලාපොරොත්තුව අත් හැර දමා තිබුණි. 

මා යළි මුළුතැන්ගෙය තුළට යන විට සඳා කෑම වසා තිබු කුඩය ඉවත් කර මාගේ පිගාන තබා වතුර වීදුරුව ද අත් පිසිනාවද තබා තිබුණි. සඳා සිටියේ තේ සාදමිනි. ඇය තේ කෝප්පයක් සාදා ගෙන යළි පොල් නිමල් වෙත යන අයුරු මම බලා සිටියෙමි. 

මා කෑම කා අවසන් වන තුරුම ඇය යළි පැමිනියේ නැත. මා නිවසින් එළියට යන්නට සැරසී, මුළුතැන්ගෙය වෙත ගියේ ගෙදරට අවශ්‍ය දෙයක් වේ නම් එය දැන ගැනීමට ය. වෙනදා ට සඳා අවශ්‍ය දෙයක් වේ නම් මා රැකියාවට පිටත් වන විට තුන්ඩූවක් ලියා එය මගේ කෑම පෙට්ටිය සමග දීමට පුරුදුව සිටියාය. අවශ්‍ය ම දෙයක්, දරැවන්ගේ හදිසි දෙයක් වෙනුවෙන් ඇය මා දුරකථනයෙන් අමතා සිටිය මිසක කිසිදු දිනෙක ඇය හා මා අතර දුරකථන සංවාද තිබුණේ නැත. විවාහ වූ අලුත ඇය තනිව නිවසේ සිටින විට මට කීප වතාවක් ම කතා කලද මා වැඩ කටයුතු පිට දමා ඒ කතා බහ මග හැර යන බව ඇයට ම දැනෙන්නට හැරියෙමි. සති අන්තයේ දි ඇය නිවසට අවශ්‍ය සියල්ල ලියා දී ගෙන්වා ගත්තා මිසක සැරෙන් සැරේ මට කරදර කලේ නැත. දැන් සිතන විට ඇය මට කිසිදු අයුරකින් කරදරයක් වූයේ නැත. ඇය මගේ නොසලකා හැරීම බාර ගෙන නිහඬ වූවා ය. 

මුළුතැන්ගෙය වෙත යන විට සඳා උදේ කෑම කමින් සිටි නමුත් ඇයගේ ඇස් තිබුණේ කිතුල් පොලු ජනෙල් වලින් එහා දුරක ය. හිත ඊටත් වඩා දුරක බව මට දැනුණි. මොහොතක් මම ඇය දෙස බලා සිටියෙමි. දිගු ගෙල ද, ඇයගේ සිහින් මුහුන ද සුන්දර යැයි මට සිතුණි. මට වඩා වසර පහකින් බාල, මැදි විය තුළ සිටින සඳා තුළ නොනැසී පවතින සුන්දරත්වය මට දැන් දැන් පෙනෙන්නට පටන් ගෙන ඇති බව මට දැනිණි. 

"මං ටවුන් එකට යනවා.. මොනවා හරි ගෙන්න තියනවා ද?" 

මගේ හඬින් ගැස්සී ගිය සඳා හිතින් හිටියේ දුරක බව මට සිතුණි. සමහර විට ලොකු පුතා හෝ චුටි පුතා ලඟ වන්න ට පුළුවනි. 

පුටුවෙන් නැගිට හිස දෙපසට සෙල වූ සඳා මා දෙස එක වරක් බලා බිම බලා ගත්තා ය. මට අවශ්‍ය වුණේ ඇයගේ ඇස් අල්ලා ගැනීමට වුණත් ඇය ඊට ඉඩ දුන්නේ නැත. කලකට පෙර මගේ ඇස් අල්ලා ගැනීමට වෙහෙසුණු ඇය ඉන් හෙම්බත් ව ඉවත ම බලා සිටින අයුරු මම දුටුවෙමි. 

මොටර් රථයට පදවා ගෙන යන අතර තුර ද මම සඳා ගැන සිතුවෙමි. විශ්‍රාම ගත් දිනයේ සිට නිවසට කොටු වුණු මගේ ඇස් වලට නිතරම සඳා සුව දසුනක් වෙමින්, මගේ ඇස් සඳා පස්සෙන් ඇය පසු පස යන්නට පටන් ගත්තේ කොහොමද කියන්න තවමත් ම මම සිතා ගැනීමට නොහැකිව සිටිමි. මින් පෙර ඇය කෙසේ මේ නිවසේ සිටියේ ද, නිවසේ කටයුතු කර ගත්තේ ද, ඇයගේ අවශ්‍යතා මොනවද, ඇයගේ හැගිම් කෙසේ වීද, පිලිබඳව මට හැඟීමක් නොවීය. සොයා බලන්නට ද වෙලාවක් නොවීය. විවාහයේ මුල් කාළය තුළ ඇය ලද නොසලකා හැරීම් නිසා ඇය ඇයට ම හුරු ඇයටම උරුම ලොවක් සදා ගත්තා ය. මා රැකියාව සමග කාර්යබහුල වන විට, ඒ එක්ක මගේ අවශ්‍යතා අඩුවක් නැතුව ඉටු වෙන කොට, ගේදොර කටයුතු හොඳින් සිද්ධවෙන කොට මට සඳා ගැන බලන්න උවමනාවක් නොතිබුණි. 

මගේ දෙමාපියන් සොයා දුන්, විවාහ යෝජනාවකින් හමුවූ සඳා ව ම මට විවාහ කර දුන්නෙ බල කිරීමෙනි. ඒ වන විට මා විශ්ව විද්‍යාලයේ දි හමු වූ දේවිකා සමග පෙම් සබඳතාවක් පවත්වාගෙන ගිය අතර දේවිකාගේ පවුල් පසුබිම ට මගේ දෙමාපියන් ගෙන් ලද දැඩි විරෝධය සඳා ගෙත් මගෙත් විවාහය ඉක්මණින් සිදු කිරීමට හේතු විය. මගේ පියාගේ දැඩි බලපෑම් මත දේවිකා අත් හැර සඳා විවාහ කර ගැනීම නිසාත‍්, කිසි දිනක අමතක කළ නොහැකි දේවිකාගේ ආදරය නිසාත් මට සඳා ගැන නොදැනුනි. සඳා සමග විවාහ වුවද මට දේවිකා අමතක කිරීම අපහසු විය. දේවිකා මගේ විවාහය සමග ම විදෙස් ගත වුවත්, යළි අප අතර කිසිදු දෙයක් සිදු නොවුවත්, සඳා ට මගේ හිතේ ඉඩක් සාදා දීම ට මට නොහැකි විය.  මා සඳා හා විවාහ වි දරුවන් සාදා පවුල් ජීවිතයක් ගත කලේ දේවිකාගේ මතකය සමගය. ලොකු අක්කා මෙන් ම පොඩි අක්කා ද සඳා සමග විවාහ වි හිතින් දේවිකා ගැන ජීවත් වෙන මට නොසෑහෙන්න බැන වැදී සිටියද, උපදෙස් දුන්න ද මට සඳාට ආදරේ කිරීමට නොහැකි විය. 

සඳා මගේ අම්මාගේ අප්පච්චිගේ ආදරණීය ලේලිය වගේම අක්කල දෙන්නගේ ආදරණීය නෑනා විය. කිසිදු දිනෙක ඔවූන් අතර හිත් අමනාපයක් වචනෙන් වත් සිදු නොවිය. යාලුවෙක්, නෑදෑයෙක්‌ පවා සඳා ගැන නරකක් කියා නැත. පුතුන් දෙදෙනා උස් මහත් වූ සැටි ද ඔවුන් ඉහළට ඉගෙන ගෙන රට රට වල යන තැනට ගේන්නට මා කැප වූ බව සිතුවද අක්කල දෙන්නා ඒ සියල්ලේ හොඳ දෙන්නේ සඳාට ය. පුතුන් දෙදෙනා තුළ තියන යහපත් ගති පැවතුම් හැදියාව සඳා ගෙන් ලද දේ බව කියන ලොකු අක්කා කිසිදු විටෙක මට එයින් හොඳ නමක් දුන්නෙ නැත. දේවිකා නිසා සඳා ට කරන අසාධාරණය වෙනුවෙන් අක්කල දෙන්න නිතර මට දොස් කියන්න ට විය. ඒ දේවල් සඳා කිසි දිනෙක අක්කල ට තබා කිසිවකු ට නොකීව ද මා ගැන දන්නා අක්කලා ගෙන් එය වසන් කිරීම අපහසු විය. 

මා කිසි දිනෙක සඳාගේ හිත රිද්දා නැත. අප අතරේ හුවමාරු වූ සීමිත වචන වලින් වත් මා ඇයගේ හිත රිදෙන දෙයක් කියා නැත. මා කියන දෙයක් ඇය අසා සිටියා ය. ඇය කියන දෙයක් මම අසා සිටියෙමි. මා ඇයට ද්‍රෝහී වී ද නැත. එහෙත් අප දෙදෙනා අතරේ දුරස් බවක් තිබුණි. ජීවත් වන්නන්වාලේ ජීවත් වෙන සැමියකු හා බිරිඳ ක‍ ලෙස ද වගකීම් හා යුතුකම් ඉටු කරන මවක හා පියකු ලෙස ද මෙතෙක් කල් අප දෙදෙනා ජීවත් වී ඇති බව මට දැනුණි. මා කිසි දිනක සඳා ට බලපෑම් කොට නීති දමා නැත. ඇයට නිදහසේ ඉන්නට ඉඩ හසර ලබා දුන්නේ ඇය කැමති දෙයක් කරන්න ට කැමති තැනක යන්නට ද ඉඩ දුන් බව මතකය. එහෙත් ඇය ලෙහෙසියෙන් නිවසින් බැහැර ව නොගියාය. 

සඳාට අසනීප වූ බවක් මට මතක නැත. නැති නම් මා දැන ගත්තත‍් නොදන්නා සේ ගනන් නොගෙන ඉන්නට ඇත. නැති නම් ඇය මට නොකියා නොපෙන්නා ඉන්නට ඇත. හෙම්බිරිස්සාවක් වගේ දෙයකින් පීඩා විඳින හැටි දැක තිබුණ ද ඒ ගැන සොයා බැලීමට තරං කාළයක් සිහියක් හිතක් මට තිබුණේ නැත. පුතුන් ඉපදුන විට සඳා ට උදවු කරේ මගේ අක්කලා දෙදෙනා ය. අත් උදව්වට මාස කීපයකට කෙනෙකු ගෙන්වා ගත් සඳා, අත් උදව්කරුව නවතා, ඉක්මණින් ම දරුවන්ගේ කටයුතු හා නිවසේ කටයුතු වලට හුරු වුවාය. මා හෝ පුතෙකු අසනීප වූ විට සඳා නිදි වර්ජිත ව අප ගැන සොයා බැලුවා ය. ඇයගේ මෙන් මගේ ද දෙමාපියන් අසනීප වූ විට ද අක්කලා ගැන ද, නෑදෑයින් ගැන ද අසල්වාසීන් ගැන ද සඳා සොයා බලා කටයුතු කළාය. ඇය ඒ දේවල් කිරීමෙන් මට මගේ රැකියාව සමග ද මගේ මතක සමග ද ඉන්නට ට මග පෑදුනු බව මම දැන ගෙන සිටියෙමි. අප දෙදෙනා අතර වචන හුවමාරු වූයේ අවශ්‍ය ම දෙයකට පමනක් විය. උදේ නිවසින් යන මම යළි රෑ බෝ වි නිවසට පැමිණීම ද නිවාඩු දින වල කාර්යාල කාමරේ ඇතුලට වැදී කුමක් හෝ දෙයක නිරත වීම මගේ ගෙවී ගිය කාළයේ දින චර්යාව විය. නිවසේ මෙන් ම සඳා සමග සහභාගි වූ විශේෂිත අවස්ථා වල දී මගේ නිහඬ බව ඇය ඉවසීමෙන් දරා ගත්තා ය. 

මා ටවුන් එකට පැමිණි කාරණා කටයුතු අවසන් කර ගෙන මොටර් රථය නවතා තිබූ තැනට පැමිනියේ සඳා ගැන සිතිවිල්ලෙනි. රථයට නැග අසුන් ගත් විට ඉදිරිපස කඩයේ එල්ලා තිබු සාරිය ඇස ගැටුනේ අහම්බෙනි. ඒ සඳා අඳින ආකාරයේ සාරියකී. විවාහ වි පැමිණි මුල් දිනයේ සිට ම සඳා අපේ අම්මාගේ කැමැත්ත පරිදි ගෙදරට ඔසරිය අඳින්න පුරුදු වුවාය. ඇය ප්‍රිය කරේ කපු චාම් තනි පාට සාරි වලටය. සාරි හැට්ට ඇය ම මසා ගත්තා ය. ඔසරි පොට ඉණ වටේ ගසා ගෙන නිවසේ සියලු කටයුතු කරන සඳා ඒ සාරි කවදා කෙසේ මිලදී ගන්නේ ද යන්න මම දැන සිටියේ නැත. මගේ අක්කල සමග ගමන් බිමන් ගිය බව මම දැන සිටියෙමි. ඒ අතරේ සමහර සාරි අපේ අක්කල හෝ අම්මා හෝ ඇයගේ පවුලේ අය විසින් දුන් තෑගි බව  මම දැන සිටියෙමි. 

මොටර් රථයෙන් බැස සාරි කඩය තුළට ගිය මම එහි තිබුණු සඳා කැමති විඳියේ සාරි කීපයක් තෝරා ගෙන මිලදී ගත්තේ මට ම මං ගැන සිතා ගැනීමට බැරි හැඟීමක් හිත තුල නලියන විට දී ය. 

නිවසට පැමිණි මම කෙලින්ම ගියේ මුළුතැන්ගෙය වෙත සඳා දැක ගැනීමට ය. ඇය එහි නොවීය. කුඩය උස්සා බැලූ මට කටට කෙල උනා එනු දැනුණි. කිරි කොස්, තෙල් දැමූ කරවල, බෝංචි සහ ගොටුකොළ සම්බෝල මේසය මත විය. මම නිදන කාමරය වෙත පැමිනියේ නිවාස පුරා සඳා සොයා ගැනීමට නොහැකි වූ තැන ය. නාන කාමරය තුළ ඇය සිටින වග දැනිණි. මම සාරි පර්සලය අල්මාරියේ සංඟවා, අනික් කාමරේ වූ නාන කාමරයට වැදී නා කියා ගත්තෙමි. මම නැවත කාමරේට පැමිනෙන විට සඳා සිටියේ කන්නාඩිය ඉදිරිපිට හිට ගෙන ය. බේබි ක්ලෝන් සුවඳ තදින් දැනුණි. තෙත කොන්ඩය ඇය රෙදි කඩ කින් බැඳ තබා ගෙන සාරි හැට්ටයකින් හා දිගු සායකින් සැරසී සිටියාය. කන්නාඩියෙන් මා දුටු වන ම වහා මා දෙසට හැරී අඳිමින් සිටි ඔසරියෙන් ම ගත වසා ගන්නට තැත් කළාය. ඒ හැසිරීම මා තුළ ඇති කරේ සියුම් කම්පනයකි. එක අතකින් ඇය එසේ දැකීම වියපත් මගේ හදවත කුල්මත් කිරීම ද අනික් අතින් මං ඉදිරියේ ඒ තරම් විලි වසා ගැනීම නිසා ඇය හා මා අතැර ඇති දුරස් බව දැනීමය. මා වහා කාමරෙන් එළියට ගොස් මගේ කාර්යාල කාමරයට වැදුනේ හිතේ කැළඹිම නැති කර ගන්න සිතා ගෙන ය. 

කාර්යාල කාමරේ මේසය අසල වූ පුටුවේ වාඩි වුණු මා ඉදිරියෙන් තිබෙන කිතුල් පොලු ජනෙල් අතරින් එළිය බලා ගෙන මම සන්සුන් වෙන්න උත්සාහ කලෙමි. සඳා හා මා අතර කොයි තරම් දුරස් බවක් තිබේද කියා මට දැනුණි. හිත කොනිතිගසා ගෙන යන වේදනාවක් ඇති වෙනවා මට දැනුණි. ඒ ඇයි කියන්න මට තේරුනේ නැත. මම මේස ලාච්චුව අරින යතුර කරකවා ලාච්චුව විවෘත කලෙමි. සියල්ල තිබුණ ද මට අවශ්‍ය දේ එහි නොවීය. කලබලයෙන් සියල්ල එළියට ඇද සෙව්වා වුණත් එය සොයා ගැනීමට නොහැකි විය. මා වහා නැගිට සඳා සොයා ගියේ කලබලයෙනි. තරහිනි. 

"සඳා..සඳා.." 

සඳා සාලයට පැමිනියේ ඔසරි පොට සකසමිනි. 

"සඳා කවුද මගේ මේස ලාච්චුව ඇද්දේ" 

"මේ.. සේ…" 

මගේ හඬ එක්ක සඳා ගොත ගැහෙන හඬින් කතා කළාය. 

"මේස ය තමයි… ලාච්චු වෙ තිබුණු දේවල් නෑ.." 

ඇය මොහොතක් මා දෙස බලා සිටියා ය. ඇය යළි කාමරෙට ගියේ කිසිදු කලබලයක් පෙන්වන්නේ නැතුව ය. මම ඇය පසු පසින් කාමරේට ගියේ ඇය උත්තර නොදී ගිය නිසාය. සඳා අපි දෙන්නගේ ඇඳුම් වටිනා බඩු තිබුණු ලී අල්මාරිය විවෘත කර මගේ වටිනා බඩු තියන කොටසේ තිබු මා හොයපු දේ මගේ අතට දුන්නාය. කාර්යාල කාමරේ වෙනස් කරන කොට බාසුන්නැහැලාට ඒක බාර දෙන කොට කාමරේ තිබුණු වටිනා ලියවිලි  අල්මාරියට ද දාන්න කියා සඳාට යතුර දුන් බව මතක් වූයේ  ඒ වෙලාවේ ය. මා ඒ දින පොත අතට ගත්තේ සඳාගේ මුහුන බලන්න බැරි ගතිය එක්ක ය. 

"මේක මන් අරන් තිබ්බේ එදා. කාමරේ හදන කොට.. . දේවිකාගේ ෆොටෝ, ලියුම් එක්කම ඔක්කොම තියනවා.. ඔයාගෙ ඇඳුම් කොටසේ තිබ්බා…" 

සඳාගේ මුහුනේ තිබුණේ සන්සුන් පෙනුමකි. සඳා තෙත කොන්ඩෙ බැඳ තිබු රෙද්ද ගලවා අතට ගෙන මුළුතැන්ගෙය පැත්තට ගියේ ඇයගේ සුවඳ මා සමග ඉතිරි කර ය. මම ඒ දින පොත අතේ තියන් මට පිටු පා යන සඳා දිහා බලාගෙන සිටියෙමි. හුස්මක් ගත් මම දින පොත අරන් කාර්යාල කාමරයට පැමිණ ජනෙලය අසල හිට ගෙන පරණ වෙලා තිබුණු දින පොත පෙරලා බැලුවේ වෙනදා තරම් සතුටකින් නොවන වග දැනිණි. ඉඳ හිට එසේ දේවිකාව දැක බලා ගත්තා මිසක ඇය හා මා අතැර කිසිදු වෙන ගණුදෙනුවක් මගේ විවාහයෙන් පසුව සිදු නොවිය. 

 දේවිකාගේ මතින් ඇස් ඉවතට ගත් මම ජනෙල් වලින් එළිය බැලුවෙමි. සඳා රෙදි වනමින් උන්නා ය. ඒ මගේ ඇඳුම්ය. මම සඳා දෙස බලාගෙන සිටියෙමි. සඳා දේවිකාගේ පින්තුර දකින්නට ඇත. ලියුම් දකින්නට ද ඇත. විවාහ වන්නට පෙර ලියු ලියුම් වුවද පරණ පින්තුර වුවද සඳා ඒවා බලන්න ඇත. මගෙ නොසළකා හැරීම, මගේ ආදරේ නොලැබීම ගැන ඇත්ත ම හේතුව සඳා දිනපොත නිසා හොයා ගන්නට ඇත. සඳාට වේදනාවක් දුකක් දැනුණි ද කියා මා දන්නේ නැත. සඳා මේ දේවල් දුටු බව මා දැන ගත් නිසාවෙන් මා සිටියේ අමුතු හැඟීමක ය. 

කිසි දෙයක් නොවුණ ලෙස මම මුළුතැන්ගෙට ගොස් කෑම කෑවෙමි. සඳා එවිට එහි නොසිටී ම මට සහනයක් විය. කෑම කා අවසන් ව පොතක් රැගෙන කාමරය වෙත පැමිණ ඇඳේ හාන්සි වුණේ පොතේ පිටු පෙරළමිනි. සඳා මුළුතැන්ගෙයි බව ඇහෙන සද්ද වලින් මට දැනුණි. දුරකථනය නාද වුණේ යන්තම් නින්ද යා ගෙන එන විටය. මම නැගිට ගොස් උත්තර දුන්නෙමි. ඒ එක්කම සඳා එතැන ට පැමිණ බලා සිටියා ය. ඒ චුටි පුතා බව දැන ගත් සඳා ඇයට කතා කරන්න අවස්ථාව ලැබෙන තුරු බලා සිටියාය. පුතා සමග ටික වෙලාවක් කතා කළ මම සඳා ට කතා කරන්න ඉඩ දුන්නේ ඇයගේ ඇස් මග හරිමිනි. 

"චුටි පුතා…" 

සඳා හඬ අවදි කළේ පුංචි දරුවෙක් ට කතා කරනවා වගේ ය. ඇය ඔසරි පොටින් ඇස් දෙක පිසදාගත්තාය. කෑව ද බිව්වා ද කියා ප්‍රශ්න කළාය. උස් මහත් වුණු දරුවන් වුණත් සඳා ට ඒ අය දැනුනේ තව ම පුංචි දරුවන් වගේ ය. මගෙන් නොලැබෙන ආදරේ සෙනෙහස අවධානය සඳා පුතාලා ගෙන් බලාපොරොත්තු වුණා කියා මට දැනුනි. පුතාලගේ වෙන් වීම නිසා සඳා හිටියේ තනිවෙලා කියා ඒ කතා බහන් මට දැනුනි. 

මා රැගෙන ආ සාරි තිබුණේ අල්මාරිය ඇතුලේ ය. මම ඒවා දිය යුතු හොඳ වෙලාවක් බලමින් හිටියෙමි . 

දිනෙන් දින ගතව යමින් තිබුණි. සඳා ඇය ගේ සුපුරුදු හුදකලා දිවි පෙවෙත තුළ කාළය ගෙවමින් මගේ විශ්‍රාමික දිවිය සැප පහසු කිරීමට කල හැකි උපරිම දේ නිහඬව ම කරමින් සිටියාය. දිනෙන් දින මා ඇය සොයා යෑම වැඩි විය. මගේ ඇස් නිරතුරුවම ඇය පසු පස විය. 

දහවල් කෑමට පසු කෙටි නින්දක් ලබා ගැනීම ට පුරුදු වූ මා නින්දෙන් අවදි ව ඉස්තෝප්පුවට පැමිනියේ කම්මැලිකම මග හරවා ගැනීමට ය. ඉස්තෝප්පුවේ කොනක තිබු ලොවි බැංකුවේ හුන් සඳා අතේ තිබුණේ ගෙත්තම කි. ඇයගේ අත් එක්තරා රිද්මයක‍ට අනුව නූල් හා ගෙතුම් කටුව අතරින් යනු මම බලා සිටියෙමි. එහෙත් ඇයගේ හිත ද ඇස් ද තිබුණේ ඉස්තෝප්පුවේන් එපිට, වැටෙන් එහා පෙනෙන පාර මතය. පුරුද්දට ඇය නොදැනීම ගොතා ගෙන ගිය මිසක් ඇය සිතින් සිටියේ වෙනම තැනක ය. මා ඉස්තෝප්පුවට එන වග වත් ඇය දන්නේ නැත. මම දොර අසල හිටගෙන ඇය දෙස බලා සිටියෙමි. මුළුතැන්ගෙයි දෙසින් කේතලය හඬ දෙන්න පටන් ගත් විට සඳා පියවි සිහියට පැමිණ නැගිටින්නට තැත් කළාය. 

"ඔහොම ඉන්න මං බලන්නම්" 

සඳා බාගෙට නැගිට ඇස් විසල් කර ගෙන මා දෙස බලා සිටියා ය. 

මම වහා මුළුතැන්ගෙය දෙසට ගොස් කේතලය නිවා දැමුවේ සඳා ගැන සිතමිනි. මා ආපසු හැරෙන විට සඳා මා පසු පස හිට ගෙන මා දෙස බලා උන්නා ය. මා ද ඇය දෙස බලා සිටියෙමි. 

"තේ හදන්නම්" 

 ඇය එතන ඉඩ ඉල්ලුවේ එලෙසිනි. 

මා එතනින් ඉවත්ව පැමිණ ඉස්තෝප්පුවේ පුටුවේ වාඩි වුණෙමි. ඇයගේ සාරියේ සර සර හඬ ද බේබි ක්ලෝන් සුවදඳ දැනෙන විට මා දෑස පියා ගත්තෙමි. කිසිදු දිනෙක නැති තරම් මගේ හදවත තුළින් වෙනස් හැඟීම් මතුව නැගෙන්නට විය. ඒ සියල්ල සඳා වෙනුවෙන් වීම විශේෂිතය. මට අවශ්‍ය වූයේ ඇයට සමීප වීමටය. කිසිදු වැඩක් නොමැතිව නිවසට කොටු වූ දින සිට මා සඳා වෙත බැඳෙමින් සිටියෙමි. එතෙක් කල් ඇය මා දෙස ද එසේ බලා හිඳින්නට ඇත. රැකියාවේ මෙන් ම ජීවිතේ ද වෙනත් වගකීම් හා යුතුකම් ඉටු කර අවසන් වූ කල් හි දැඩි හිස් බවක් මට දැනෙමින් තිබුණි. ඒ හිස් බව සඳා මතින් පුරවා ගැනීමට දෝ යන ආත්මාර්ථකාමී සිතිවිල්ල ද යන්න වග මම යළි යළිත් සිතුවෙමි. එය ආත්මාර්ථකාමී බවින් තොර වූ සැබෑ ආදරණීය සිතුවිල්ලක් බවට පත් වෙමින් තිබු බව මට දැනෙමින් තිබුණි. 

සඳා තේ කෝප්පය කනප්පුව මතින් තබා හැරුණා ය. 

"සඳා….." 

ඇය දොර අසල ව නතරව මට ඇහුම්කන් දෙමින් සිටියාය. 

"සඳා… අපි අද වැව ළඟ restaurant එක ට යමු ද? දැන් ටිකක් කලින් ගිහින් වැව වටේ ඇවිදලා කෑම කාලා රෑ වෙලා එමු" 

ඇය ගෙන් ප්‍රතිචාරයක් නොවු තැන මා හැරී ඇය දෙස බැලුවෙමි. ඇය දොර උළුවහුව කොනිතිගසමින් සිට ගෙන සිටියා මිසක උත්තර දුන්නෙ නැත. මා නැගිට ඇය අසලින්ම සිට ගත්තෙමි. 

"යමු ද සඳා" 

ඇය ඔලුව සොලවා යමු යැයි කිව්වා ය. 

" ගිහින් ලැහැස්ති වෙන්න "

මට පිටු පා වේගයෙන් කාමරය වෙත යන සඳා දෙස මා බලා සිටියේ මගේ මුව මත සිනාවක් ඇඳි එද්දි ය. 

සඳා සැරසුනේ ලා දම් පාට කපු ඔසරියකිනි. කවරදාටත් වඩා මට ඇය ව සුන්දර ව පෙනුණි. බටහිර අහස රතු කහ තැඹිලි පැහැ අතරින් යන්තම් දම් පැහැයක් වන විට සඳා මා සමග සිටියේ වැව වටේ වූ බොරළු පාරේ ය. තුරු ලතා වලින් වසා ගත් වැව පාර වටේ ඒ වන විට අප වැනි කීප දෙනෙකු සිටියා මිසක කලබලකාරි බවක් තිබුණේ නැත. යන්තම් අදුර වැටෙන විට අප දෙදෙනා නිහඩ ව ම බොහෝ දුරක් ගමන් කර තිබ්ණි. සඳාගේ සාරි පොට වැව් දිය මතින් නැගෙන සුළඟ හා දඟ කරමින් තිබුණි. මම ඇය දෙස බැලුවෙමි. ඇය ඇවිද ගියේ වැව දෙස බලා ගෙන ය. මම සෙමින් ඇය ට ළං ව ඇයගේ අත අල්ලා ගත්තේ මුදු ලෙස ඇයගේ ඇඟිලි තුඩු වලිනි. ඇය මා දෙස බලන විට මා වැව දෙස බලා ගෙන සිනා සුනෙමි. ඇයගේ ඇඟිලි තුඩු සීතල ය. මගේ හද තුරුණු වියේ පසුවන කෙනෙකුගේ මෙන් පොපියන්නට විය. එය හදවත උතුරා යන හැඟීමකි. සඳා ගේ මුහුන ලැජ්ජාවෙන් බිමට බර වනු මා බලාගෙන ය. මා තව තවත් ඇයට සමිප වෙමින් ඇයගේ අත මගේ අතින් තදින් වෙලා ගත්තෙමි. සඳාගේ අතැඟිලි මගේ අත හා තදින් වේලි යනු මට දැනිණි. 

බොහෝ වේලා වැව ළඟ ගත කල අප ආහාර ගෙන නිවසට පැමිණි යේ රෑ බෝ වුවාට පසුව ය. අප දෙදෙනා අතරේ කතා බහක් නොවූ තරම් ය. එහෙත් හිත් කතා කරමින් තිබු බව දෙදෙනාට ම දැනුණි. මා ඇඳුම් අහවර කර ඇඳට වි පොතක් කියවන්නට පටන් ගත්තේ සඳා පැමිනෙන තුරු කාළය ගෙවා ගැනීමට ය. සඳා නිවසේ වැඩ නිම කර දොරවල් ජනෙල් වසා දමන හඬ ඇසුණි. තවත‍් ටික වෙලාවකින් ඇය කාමරයට පැමිණ නාන කාමරයට වැදී දොර වසා ගත්තා ය. මා නැගිට අල්මාරියේ වූ සාරි පර්සලය රැගෙන කන්නාඩි මේස ය මත තබා යළි ඇඳට නැග පොත කියවන්නට වීමි. 

සඳා නිදි ඇඳුමට මාරු වි නාන කාමරයෙන් එළියට පැමිණ කන්නාඩිය ඉදිරිපිට හිට ගත්තේ ඇඳ අසල දැල්වෙමින් තිබුණු කහ පැහැති විදුලි බුබුළේ මඳ ආලෝකය තුළය. පොත කියවන මුවාවෙන් මා ඈ දෙස බලා සිටියෙමි. තරුණ විය ඉක්මවා යමින් සිටි ය ද ඇය තුළ තිබුණු නාරි ලාලිත්‍ය ඒ කහ පැහැති අඩ අඳුරේ ද මම දුටිමි. සාරි පර්සලය ඇය දකින්නේ පිට දිගේ කඩා හැළෙන කෙස් වැටිය පීරමින් සිටියදී ය. පනාව පැත්තකින් තබා සාරි පර්සලය අතට ගන්නා සඳා එය එළියට ගෙන මා දෙස හැරී බලන්නෙ විමතියෙනි. 

"ඔයා ට… හොඳ ද බලන්න" 

ඇය සාරි ටික රැගෙන මා වෙත පැමිණ මා අසලින් ඇඳ මත වාඩි වන්නේ ඇයගේ කෙස් කළඹ උරහිස් මතින් එහා මෙහා විසිරී යද්දී ය. බෙබී ක්ලෝන් සුවඳ මගේ නාස් කුහර තුළින් හදවත සිප ගනිද්දී ය. ඇය එකින් එක සාරි දිග හැර බලමින් වරින් වර මා දෙස ද බලන්නේ මුහුන පුරා ඇඳි එන සිනාවක් සමගය. වැඩි වෙලා යන්න ට මත්තෙන් ඇයගේ දෑස් තෙත් ව කම්මුල් දිගේ කඳුළු බිඳු ගාලා යන්නට විය. මා වහා පොත පසෙක තබා නැගිට සඳා ගේ උරහිස් අල්ලා ගතිමි. 

"ඇයි සඳා… ඔයා ආසා නැද්ද මේ පාට වලට.. මෙවා හොඳ නැද්ද?" 

මා ඇසුවේ කිසිවක් සිතා ගැනීමට නොහැකි වූ තැනය. සඳා වෙනදා මෙන් හිස දෙපසට සලා නැත යැයි කිව්වා ය. 

"එහෙම නම්…" 

සඳා මගෙ මුහුන දෙස බලා හිඳින්නට විය. ඇය මා තේරුම් ගනිමින් සිටිනවා විය යුතුය. මා ඇයගේ කම්මුල් පිස දමමින් ඇය වෙත ට සමීප වූයෙමි. ඇය ගේ විරුද්ධත්වයක් නැති තැන මම ඇයගේ ඇඟ වටේ දැත් යවා මා ගතට තදින් තුරුළු කර ගත්තෙමි. මොහොතකින් ඇයගේ අත් මගේ පිට හරහ ගොස් තදින් වෙලී යනු දැනිණි. මා තව තවත් ඇය ව මා වෙතට තෙරපා ගත්තෙමි. මුදු ව ඇයගේ හිස සිප ගත්තෙමි. ඉකිය සමග ඇයගේ ළය ගැහෙන රිද්මය මගේ පපුවට දැනිණි. 


Nissanka Rajapaksa

unread,
Sep 29, 2024, 8:53:30 PM9/29/24
to INDRAKA group
32

සෙව්වන්දි ආපහු සැරයක් මුළුතැන්ගෙට ගියේ වළං ඇරලා බලන්න. කහ බතක්, අල කිරට, පරිප්පු, කජු මාළුවක් උයලා පොඩ්ඩෝ ආස විදියට මාළු බැදලා තියන හින්දා කුස්සියම පුදුමාකාර සුවඳක්. කට්ලට් එකකුත් බදින්න සෙව්වන්දිට හිතක් පහළ වුණා. ෆෝන් එක රින්ග් වෙනකන්ම කට්ලට් මිශ්‍රණය සකසපු සෙව්වන්දි ලිපේ ගින්දර දිහා බලාගෙන දුරකථනයට පිළිතුරු දුන්නා.

“මොකද කරන්නේ මැණික?”

චාමරගේ කටහඬ ඇවිල්ලා වදින්නේ කන්වල නෙවෙයි.හදවත පතුලේ. සෙව්වන්දි හුස්මක් පහළට දාලා උයන බව කිව්වේ හීන් හඬකින්.

“අද ඉව්වද? රොහාන් එක්ක අල්ලපු රණ්ඩුවේ හැටියට ඔයාට තිබ්බේ කඩෙන් මොනවහරි ගේන්න කියන්න..”

පහුගිය මාස හතරපහ තිස්සෙම චාමරගේ තිර රචනා රඟ දක්වපු බව ඇත්ත. ඒත් අන්තිම විනාඩි කිහිපය එහෙම කරන්න සෙව්වන්දිට හිතක් නෑ. සෙව්වන්දි මොකුත් නොකියා ලිපේ ගින්දර අඩු කළා.

“කමක් නෑ.. උයන්න. ඔය රොහානුයි උගෙ ළමයිනුයි ඔයාගෙ කෑම කන අන්තිම දවස අදනෙ.”

ගෑස් ලිපේ ගින්දර නිල් පාටටවත් කහ පාටටවත් නෙවෙයි. රතු පාටට ඇහේ හැපෙනවා සෙව්වන්දිට දැනෙනවා. ඒත් අනිත් අයට වගේ ගෑස් පුපුරයි කියලා බයක් හිතුණේ නෑ. හිත පුපුරන්න ළඟ බව විතරක් හිතුණා.

“බබාලා ආයේ බලන්න බෑ? චාමර ඔයා මට එහෙම දෙයක් කිව්වේ නෑනෙ?”

හැමදෙයක්ම කතා කරලා ඉවර බව හිතාගෙන හිටියත් වැදගත්ම කාරණා සාකච්ඡා වෙලා නෑ කියලා සෙව්වන්දිට හිතුණේ හදිසියේ. චාමර මොකුත් නොකියා තත්පර ගාණක් හිටියා. ඒ කාලයත් සෙව්වන්දිට කල්පයක් වගේ.

“ඔයා හිතනවද හෙට උදේ ඔයා මාත් එක්ක ආවට පස්සෙ රොහාන් කාරයා ආයේ ඔයාට බබාලා බලන්න දෙයි කියලා..?”

ලොකූට දහයයි. තව අවුරුද්දකින් විතර කෙල්ල දැනමුතු වෙයි කියලා අම්මා නම් නිතරම කියනවා. සුදු දූට අටයි. පොඩි පුතාට තුනයි. මේ හුරතල් මුහුණු තුන ආයේ කවදාවත්ම දකින්න නොලැබෙන බව එච්චර ලේසියෙන් චාමර කියන්නේ කොහොමද?

“ඩිවෝස් නඩුවෙන් පස්සෙ මං බබාලා ඉල්ලනවා..”

තාම දික්කසාදයකට අඩියක්වත් නොතියා සෙව්වන්දි එහෙම කියන්න පටන් ගත්තා. කොහොමටත් හැමදෙයක්ම ලියපු ලියුමක් සෙව්වන්දි ගාව තියෙනවා. හෙට ඒක අතට ගත්තට පස්සේ ද්වේෂ සහගත ලෙස හැර යාම, අනියම් සම්බන්ධ වගේ කීයක් කාරණාවලට රොහාන්ට නඩු දාන්න පුලුවන්ද?

“ඒ ළමයි තුන්දෙනාම මං බාර ගත්තම මං ළමයි හදන් නැද්ද?"

චාමරගේ හඬ වෙනදා තරම් ආදරණීය නැහැ. ඔයා මගේ හැමදෙයක්ම බව කීවට චාමර ආදරේ කරන්නේ සෙව්වන්දිට විතරයි කියන හැඟීම සෙව්වන්දිගේ හිත රිදවන්න පටන් ගත්තා. චාමර ෆෝන් එක තියලත් ඉවරයි.

හැමදෙයක්ම සිද්ධ වෙන්න පටන් අරන් මොනතරම් කෙටි කාලයක් ද කියලා සෙව්වන්දි ආයේ ආයේ හිතන්න ගත්තා. රොහාන්ගේ කිසිම වරදක් නැතුව තමන් චාමරට බැඳෙන්න පටන් ගත්තේ ඇයි? රොහාන් බේබද්දෙක් නම්, අම්මලා අක්කලා කියන කියන තාලෙට සෙව්වන්දිගේ වැරදි හෙව්වානම්, රුපියල් අතට දෙන්න කලිනුත් ලක්ෂෙක ආඩපාලි කිව්වානම්, ළමයි හදලා ගේ අස්සට වෙලා නාකි වෙන්න කිව්වානම්, ඔෆිස් එකේ වෙන ආදරවන්තියක් හොයා ගත්තානම් සෙව්වන්දිටත් හේතු තියනවා.

ඒත් එහෙම මොකුත් නෑ!

ඒත් රොහාන්ට දෙන්න කිසිම ආදරයක් නැති බවත් රොහාන් දැන් අවුරුදු හතලිහට ළං වෙමින් ඉන්න වයසක මනුස්සයෙක් බවත් සෙව්වන්දිට හිතෙන්න ගත්තේ ලොකූගේ ඉස්කෝලේ වැඩවලට ප්‍රින්ට් අවුට් ගන්නම හන්දියේ කමියුනිකේෂන් එකට ගියාට පස්සේ. චාමර හරි දඟකාරයි. තිස්සෙම හිනා වෙනවා. කාටහරි විහිලු කරනවා. ඇවිදිනකොට පළාතම සුවඳයි. වචනයක් දෙකක් කතා කරද්දී චාමර තමන්ට වඩා අවුරුදු දහයක් විතර ළාබාල බව සෙව්වන්දි අමතක කරලා ඉවරයි.

“ආදරෙයි”

චාමර එහෙම කියනකොට තමන්ට ආදරයක් අත්‍යවශ්‍යම වෙලා තිබුණු බව සෙව්වන්දිට හිතෙන්න ගත්තේ බොහොම තදට. රොහාන් කරපු ආදරයක් නෑ. ඇල්මැරුණු පවුල් ජීවිතයක් අරන් ගියා විතරයි. දැන් සෙව්වන්දි ඉන්නේ ඒ තීරණයේ තදින් එල්බගෙන.

“මාත් එක්ක යං..”

ආදරය කියන්නේ අන්ධවීමට කියලා සෙව්වන්දිට තේරුණේ චාමරගේ ඒ යෝජනාව නිසා. දෙපාරක් තියා එකපාරක්වත් නොහිතා සෙව්වන්දි ඒ යෝජනාව ස්ථිර කරා. චාමර කියනවානම් මේ හැමදෙයක්ම දාලා යන්න සෙව්වන්දි ලෑස්ති. නමුත්, දරුවන් අත් හැරීම හිතන තරමට ලේසි නැහැ කියලා සෙව්වන්දිට ආයේ ආයේ හිතෙන්නේ ආයේ කවදාවත් දරුවන්ව බලන්න වෙන්නේ නැති බව චාමර කියද්දී.

“අන්තිමට උයපු දේ රහට ඉව්ව එක හොඳයි.”

අම්මා කෙනෙකුට දරුවන්ට එහෙම අන්තිම භෝජන සංග්‍රහයක් හදන්න පහසු නෑ. මෙතනින් එහාට දරුවෝ අම්මා කියන්නේ කාටද?

“චාමර, මං ඩිවෝස් නඩුවක් දාන්නං. ඊයෙත් මං මහ ලොකු රණ්ඩුවක් ඇද ගත්තේ මං චූටිව හෝදන්නේ නැතුව ෆෝන් එක ඔබනවා කියලා රොහාන් පොඩ්ඩක් කෑගැහුවටනෙ. ඇත්තටම ඉතින් රණ්ඩු කරන්න තරම් වරදක් එයාගේ නෑ. වෙන් වෙන්න තරම් වරදකුත් එයාගේ නෑ. ඒ වුණාට මං ඔයාට ආදරේ බව කියලා මං වැදගත් විදියට අයින් වෙන්නම්..”

සෙව්වන්දි ආයේ දඩිබිඩියේ චාමර ඇමතුවේ ඒක කියන්න.

“දුවලා දෙන්නෙක් ඉන්න අම්මෙක් මම. මං දික්කසාද වෙලා ආයේ කසාද බඳින එක එයාලගෙ අනාගතේට බලපාන්නේ නෑ. දැන් ලෝකේ මිනිස්සු හිතන හැටි දියුණුයි. ඒ වුණාට මං හිටිහැටියේ ඔයා එක්ක යන එක එයාලට මානසිකවත් බලපායි. මම රොහාන්ගෙන් කැමැත්තෙන් වෙන් වුණාට එයාලට අම්මවත් තාත්තවත් නැති වෙන්න බෑනෙ..”

ඒත් චාමර ඒ කිසිදෙයක් පිළිගත්තේ නෑ. ඒ වෙනුවට ඇහුවේ බොහොම අමුතු කතාවක්.

“මං රොහාන් වගේ සල්ලි නැති මිනිහෙක් හින්දද ඔහොම කියන්නේ? මං සල්ලි අරන් එන්නං?”

චාමර ඇමතුම විසන්ධි කරලත් ඉවරයි. නිස්කලංක ජීවිතයකට කුණාටුවක් අරන් ආවේ තමන්ම බව හිතමින් සෙව්වන්දි එහෙමෙහෙ ඇවිදින්න පටන් ගත්තා. ඇත්තටම මේ දුවන්න හදන ගමන මොකක්ද? ඇයි එහෙම යන්නේ? තමන් චාමරට ආදරේ බව කියනකොට රොහාන් මොනවගේ ප්‍රතිචාරයක් දෙයිද?

ඒ හැම සිතුවිල්ලම බිඳුණේ රොහාන්ගේ මෝටර් රථය මිදුලේ නතර වෙනකොට. රොහාන් පුරුදු හිනාවෙන්ම ගෙට ඇවිත් සෙව්වන්දි ළඟ නැවතුණා.

“පොඩ්ඩක් පරක්කු වුණා සෙව්.. හන්දියෙ කලබලයක්..”

සෙව්වන්දි රොහාන් දිහා බැලුවේ විමසිල්ලෙන්. වටපිටාවේ වෙන හැමදෙයක්ම සෙව්වන්දිට තත්පරෙන් තත්පරේ කියන චාමරට අනතුරක් කලබලයක් මග හැරීම අමුතු දෙයක්. තරහ වෙන්න ඇති.

“අර ගාමිණීලගෙ කමියුනිකේෂන් එකෙ වැඩට ආපු සුදු කෙට්ටු කොල්ලා. මිනිහා සල්ලි වගයක් හොරකන් කරලා. ගාමිණි ගහන්නත් ගිහින්. ෆුඩ් කෝනර් එකේ කොල්ලො ටික යන්තම් බේරගෙන. පොලිසි ගියා වෙන්න ඇති. එතන පාරත් හරස් කරගෙන වලිය..”

රොහාන් තව මොනමොනවද කිව්වත් සෙව්වන්දි හිටියේ එකතැන ගල් වෙලා. ජීවත් වීම මේ තරම් සුළු කරලා හිතෙන තරුණයෙක්ගේ අත් උඩින් තමන්ගේ ජීවිතේ තියන්න හදපු එක මොනතරම් වරදක් ද?

“රොහාන්..”

නාගෙන ආපු රොහාන් සෙව්වන්දි දිහා බැලුවේ පුදුමයකින්.

“මට මේ දවස්වල තරහ යනව වැඩී. ඊයේ ඔයාටත් රණ්ඩු කරා. අද සුදූටත් කෑගැහුවා. හෙට නිවාඩුවක් දාලා මාත් එක්ක ඩොක්ට මෙත්මිණිව මුණ ගැහෙමුද?”

රොහාන් හිනාවකින් සෙව්වන්දි දිහා බැලුවා. අම්මා අද රහම රහට උයලා කියලා පණිවිඩය අරන් ආපු පුංචිත්තො ටික තාත්තාගේ ඇඟ උඩට පනින හැටි සෙව්වන්දි බලාගෙන තමන් එක්කම තරහින්.

හෙට ඩොක්ට මෙත්මිණිට හැම මෝඩකමක්ම කියන්න ඕන!

https://smartlady.lk/article/20968/how-could-a-mother-leave-her-child/?fbclid=IwZXh0bgNhZW0CMTEAAR00yUr6TrSsF58qPMQS7J46z6wqLbLc402p3FaY0z9KAmjRgpNeQ4ubyHg_aem_cUGBwnX4LLH3oDdy6hTpzw&mibextid=NOb6eG

Nissanka Rajapaksa

unread,
Sep 30, 2024, 9:08:07 PM9/30/24
to INDRAKA group
33
නොවටිනා දෑ 

- පවිත්‍රා අභයවර්ධන

ජයසේකර හාමිනේ නින්ද ගිය පොඩි එකාව ඇ‌‌ඳෙන් තියලා, කොට්ට වට කරලා, නෙට් එක දාලා එළියට ආව. හිතේ අමාරුවට පපුවත් එක්ක හරි වැටෙනවා වගේ. කන්ඩත් පිරියක් නෑ.

සාලෙ පුටුවක වාඩි වෙලා ටීවී එක දාගත්ත. 

“මොන එහෙකට බලනවද ඔය මඟුල ලැජ්ජ නැතිව” කියලා හිත කිව්වට නොබලා පුලුවන්ද අම්මෙකුට. දරුවො තමන්ට මොනව කරත්, දරුවෙක්ට හරියද්දි ඒක ඇස් දෙකෙන් නොබලා ඉන්න පුලුවන් අම්මෙක් ඉන්නවද?

රිමෝට් එකෙන් චැනල් කරකවලා දැම්ම පුතා ඉන්න චැනල් එක. පහුගිය ටිකේම ගෙදර කතා උනේ ඔය නමමනේ. මඟ ඇරෙන්නෙ කොහොමද?

-------------
මහා උත්සවයක් බලද්දි. ටීවි එක දාද්දි උත්සවේ ටිකක් ඉවරයි, කොහෙද පොඩි එකා නිදාගත්තෙම නෑනෙ. උරපතු දෙක කකියනකං හොල්ලන්න උනා උකුළේ තියලා නිදිකරගන්න.

ගෑණු ළමයි ටිකක් නැටුමක් නටනවා. අනේ මන්දා, ඒ ඇඳලා ඉන්න ඇඳුම් දැක්කම ජයසේකර නෝනාට නං හිතෙන්නේ මේ ළමයිට අම්මල තාත්තල නැද්ද කියලා. අමුඩ ගහලා වගේ, ඇ‌ඟෙන් බා‌ගෙකටත් වඩා එළියෙ. 

ඒ අස්සෙ සබාවෙ ඉන්න කට්ටියත් පෙන්නනවා. පුතායි අනූපමායි ඉන්න තැනටත් දෙතුන් පාරක් කැමරාව ඇල්ලුවා. දෙන්නම දම් පාට ඇඳලා. ඔය එක පාට ඇඳුම් දකිනකම්ම තමන්ට වැඩේ තේරුණේ නැති එක ගැන ජයසේකර නෝනාට තමන් ගැනම තරහයි. “අනේ මං වගේ ගොං මෝඩියෙක්” 
-------------------
බස්නාහරි පළාතෙ නැගී එන ව්‍යවසායක සම්මානෙ මේ පාර පුතා සුසිල්ගෙ “අරුණලු” හෝටලේට හම්බෙනවා කියලා දැනගත්තේ කලින්මයි. ඒ උත්සවේ තමා ඔය අද තියෙන්නේ. 

මාසෙකට විතර කලින් ඕක දැනගත්තු ගමන් ජයසේකර නෝනාත් යන්න හිටියේ එක පයින්. අවුරුද්දට එහෙම පුතාලා අරන් දෙන සාරි මදිවට ළඟම ගෝලයෙක් ඉන්දියාවෙ ගිහින් ගෙනත් දුන්න හොඳම සාරියකුත් තියෙනවා.

“දූ කොහෙ හරි ගිහින් හොඳට අන්දවා ගන්න. මං නං ඉතින් ඔසරිය පටලගෙන මෙහෙමම එනවා’ කියලා ලේලි අනුපමාටත් දෙතුන් පාරක් කිව්ව.

ඒවට අනූපමා නිකම් හා හූ කිව්ව මිසක් මුකුත් උත්තර දුන්නෙ නෑ කියල මතක් වෙන්නේ අද.

කොහොම හරි උත්සවේට දවස් තුනකට විතර කලින් රාණි ගෙදර යවපු විදිය ජයසේකර නෝනට ඇල්ලුවෙ නෑ. ඔච්චර ලොකු වැඩක් තියෙද්දි ගෙදර වැඩකාරිව නිවාඩු යනව සිරිතක් නෑනෙ. අනික වෙනදට රාණිට මොන දේකට යන්න ඕන කිව්වත් අනුපමා කුණු කුණු ගානව. මෙදා පාර මොකුත් නැතුව “රාණිත් කාලෙකින් ගියේ නෑනෙ ගෙදර, කමක් නෑ ගිහින් සෙනසුරාදා එන්නකො” කිව්ව.

අද උදේ පුතා තමයි කිව්වෙ රාණි කතා කරා, උණ ගැනිල හින්ද එන්න වෙන්නෙ නෑ කිව්ව කියල. රෑ නෙ උත්සවේ.

අවුරුද්දේ පොඩි එකාව ඔය කලබල අස්සෙ ගෙනියන්න බැරි හින්ද රාණිට ළමයව දාලා තුන්දෙනා යන්නයි ජයසේකර නෝනගෙ ඔලුවෙ තිබුණෙ. 
ජයසේකර නෝනා ඉද්දි රාණි දරුවගෙ වැඩ නොකළට එයාටත් දරුවා හොඳට එකතුයි. අනික නිදාගන්න ටිකනෙ.

“අප්පා දැන් මොකද කරන්නේ? පුතේ ඔය තියෙන එකක් අන්දගෙන බබත් අරන් යමු එහෙනම්. ඇඬුවොත් මං එළියට එක්ක යන්නම්කො”

ජයසේකර නෝනා කිව්වේ ඒ වෙලාවේ හිතට ආව හොඳම විදිහ.

“නෑ අම්මෙ, මේ, බබා ගෙනිහින් බැරි වෙයි නේද? දැන් මේ ආයෙ කොරෝනාත් තියෙනවා කියනවනෙ.”

පුතා තමන්ගෙ මූණ හරියට බලන්නෙ නැතුව මේ කියන්න හදන්නේ මොකද්ද කියලා ජයසේකර නෝනට ඒත් තේරුණෙත් නෑ. 

“එතකොට බබා කාටද දාල යන්නේ?”

“අම්මටයි බබාටයි ඉන්න පුලුවන් නේද? ඔය කලබලේ ගිහින් නිකම් තැලෙන්න ඕන නෑනෙ. ටීවි එකෙන් ලයිව් බලතෑකිනෙ”

මූණ හට්ටිය වගේ කරන් ඉන්න අනූපමාගේ මූණ බල බල පුතණ්ඩියා ඒක කිව්වමයි මේ මුල ඉඳන් ආව පොට මොකද්ද කියල ජයසේකර නෝනට තේරුණේ.

තමන්ට අඳින පළඳින එකක් ගැන මුකුත් කිව්වේ නැත්තෙ, රාණිව කලින්ම ගෙදර යැව්වෙ තමන්ව ගෙදර තියලා යන්න. ඕං ඉස්කෝලෙ නෝනා කෙනෙක් වෙලත් මේ වෙනකම් ඒක තේරිච්ච නැති හැටි අනේ අනිච්චං.

ජයසේකර නෝනා ඊට පස්සේ මොකවත් කතා කළේ නෑ. 

තමන් සම්මානයක් ගන්න දවසෙ වැදූ අම්මව එක්ක යන්න බැරි එවුන් එක්ක මොනව කතා කරන්නද?

“ආ හා” කියලා කාමරේට වැදුණා. කඳුළු ඇල්ලක් කඩා හැළුණේ ඊට පස්සේ.

වෙනදට ජෝඩුව කන වෙලාවට බබාව තියාගන්නේ තමන්. බබාට කවන්නේ තමන්. අද ඒ හුරතල් කරන්න ගියේ නැතුව හිටියා කාමරේට වෙලා. වෙනදට අනූපමාට දොහොනෙ වෙන්න යන්න නං නැන්දම්මා අතට ළමයා නොදී බෑ. අද ඔය අපූරුවට සුසිල්ට ළමයා දීලා නාගත්තෙ.

අන්තිමට හතරට විතර සුසිල් කාමරේ දොර ළඟට ඇවිත් කතා කරා.

“අම්මෙ, බබා ළඟට එනවද? මෙයාට සැලොන් එකේ වෙලාව දීලා තියෙන්නේ හතරයි කාලටනෙ.”

“හ්ම්” කියාගෙන එතකොට තමයි ජයසේකර නෝනා එළියට ගියේ.

ළමයා ප්ලේ පෙන් එකේ දාලා. එතනම සෙටියේ ඉඳගෙන පත්තරයක් අතට ගත්තා.

පුතා ලා දම් පාට ෂර්ට් එකක් ඇඳලා තද දම්පාට ටයි එකක් දාලා. නිකම් දිග ගවුමක් ඇඳගෙන සාරිය හැන්ගර් එකක දාගෙන රත්තරන් පාට අඩි උස සපත්තු දෙක අතින් අතින් අරන් අනූපමා එළියට ආව. සාරියත් දම් පාටයි. ඇත්තට අරුණලු හෝටලේ ඔක්කොම කෙරෙන්නේ දම් පාටින්නෙ. දෙන්නා එක පාටින් ඇඳුම් එහෙම හදාගෙන කලින්ම.

හරි ඒකත් කමක් නෑ කියමු. 

ජෝඩුව ගිහින් ටිකකින් ආව අනූපමාගේ නංගිගෙ මහත්තයා. අසංක. අසංක තමයි අරුණලු එකේ මීගමු හෝටලේ බලන්නෙ. මිනිහත් දම් ඇඳලා. 

දැන් ටීවි එකේ බලද්දි පුතයි අනූපමායි ඉන්න පේළියෙම ඉන්නෙ අරුණලු එකේ තමන් දන්න කට්ටියමයි. ඔක්කොම දම් පාට.

දැන් මේ තමන්ව විතරයි එතනට මදි වෙලා තියෙන්නේ.
--------------
ජයසේකර නෝනට දුකයි කේන්තියයි වාවගන්න බෑ. මහත්තයත් නැති එකේ කාට කියන්නද? නෑයින්ට කියනවා කියන්නේ උඩ බලාගෙන කෙළ ගහ ගහන්නව වගේනෙ.

තමන් සබාවකට ගෙනියන්න බැරි අජූව ගෑණියෙක්ද? හැට හතක් උනත් ටීචර්ට නම් තාම පනහක් වත් පේන්නේ නෑ කියලයි ගෝලයෝ හම්බුණාම කියන්නේ.
අජූව උනත් අම්මව අහක දානවද ළමයි. එහෙනං අර ගමේ කබර කුසුමව කරඬුව වගේ ඉස්සර කරගෙන යන්නෙ ළමයි ටික. ඇයි අර පීල්ලෙ ගෙදර කාන්ති. පිනුම් පිට පිනුම් ගහපු එකියක්නෙ. කොල්ලො තුන්දෙනා මිනිස්සු තුන් දෙනෙක්ගෙ කියලා ගමේ ගෑණු කියන්නේ. එක කොල්ලෙක් කොරියාවෙ ගිහින් දැන් කෝටිපතියෙක්. එහෙම වෙලත් පන්සලේ දං ගේ අලුතෙන් හදලා විවෘත කරන්න අම්මව තමයි ඉස්සර කරං ආවෙ. ඔන්න දරුවො. 

අනික තමන් ගෙදර නිකම් හිටිය ගෑණියෙක් නම් කමක් නෑ. ඉස්කෝලෙ ගුරුවරියෙක්.

“මගේ අම්මා ගුරුවරියෙක්. අම්මා තමයි මට මේ ගමනට මුල පුරලා දුන්නේ” කියලා සබාවක කියන්න බැරි කම මොකද්ද පුතාට.

ඇත්තටම සුසිල්ට ඉස්කෝලෙ වැඩ අල්ල ගන්නම බැරි බව තේරෙන කොට මොකක් හරි දක්ස කමක් තියෙන පැත්තකට යොමු කරන්න ජයසේකර නෝනා හිතුවේ අවුරුදු දහය විතර වෙද්දි. මහත්තයා සුසිල්ට හතරක් වෙද්දි නැතිවෙච්ච හින්ද ඕව ඉතින් තමන්ටමයි කල්පනා කරන්න උනේ. කාටවත් කියන්න බෑනෙ. තමන් ඒ දවස්වල ඉස්කෝලෙ ළඟම ගුරු නිවාසෙනෙ හිටියෙ. 

“අනේ ඉතිං ගල් පඩි පෙළ පාමුලම ඉඳලත් ජයසේකර ටීචර්ට සුසිල්ට අකුරු ටිකවත් හරියට ලියවන්න බැරි උනා නේද?” එහෙමයි ටීචර්ලා නිකම් අනුකම්පාවෙන් වගේ කිව්වෙ. 

මිනිහා උයන්න පිහන්න බීම හදන්න හරි කැමතියි කියල දැනිච්ච ගමන් ජයසේකර නෝනා ඒක හුරු කරන්න පටන් ගත්ත. තමන් දන්න බත් මාලු උයන්න උගන්නලා, ටවුමේ ඩේසි නෝනගෙ පන්තියට යැව්වා කේක්, රෝල්ස් ඒව මේවා අල්ලගන්න.

කොහොම හරි ණයක් අරන් දහ අට වෙද්දිම හොටෙල් ස්කූල් දැම්ම. එතනින් හුරු වෙලා හික්කඩුවෙ හෝටලේක අවුරුදු තුනක් වැඩ කරලා, ඊට පස්සේ තමයි අරුණලු එක පොඩියට පටන් ගත්තෙ. ඒවට සල්ලි දුන්නෙ අනූපමාගේ තාත්තා.
ඒකනෙ දැන් ඕනැ එකකට ඒ පැත්ත ලොකු වෙන්නෙ.

ජයසේකර නෝනා ටීවි එක බලා හිටියේ හිතේ වේදනාව කොච්චරද කියන්න බැරුව. 

සුසිල්ට සම්මානෙ දෙන්න කලින් පොඩි වීඩියෝ කෑල්ලක් දැම්ම අරුණලු එක ඇතුළේ.

“මේ තමයි අනුරාධ මං ජර්මනියෙන් ගෙන්නපු පිහි, මේවා කවදාවත් මුවහත නැති වෙන්නේ නැති පිහි ජාතියක්”

“මේ සාස්පාන හදලා තියෙන්නේ එකම විදිහට හැම තැනටම ගින්දර පැතිරෙන විදිහට, මේ පොඩිම සයිස් එක ලක්ෂ තුන හමාරක් විතර වෙනවා”

ඔහොම කිය කිය සුසිල් නිවේදකයාට කුස්සියේ බඩු මුට්ටු පෙන්නනවා. පැත්තක තියෙන ලොකු පෙට්ටිය ඇරුණම අනිත් ඔක්කොම ගැන ඔය වගේ විස්තර කිව්ව. ඒ පෙට්ටිය ඩිෂ් වොෂර් එක කියලා ජයසේකර නෝන දන්නව.

“එතකොට මේක?”

නිවේදකයා ඒක පෙන්නල ඇහුවේ ඒ ගැන මොකවත් කිව්වෙ නැති හින්දා වෙන්න ඇති.

“ඒ ඩිෂ් වොෂර් එක. ලොකු වැදගත්කමක් නෑ”

“කුණු හෝදන එක වැදගත් නෑනෙ නේද සුසිල්” නිවේදකයා හයියෙන් හිනා උනා. ජයසේකර නෝනා දැක්ක එක පාර ඩිෂ් වොෂර් එකේ ලයිට් පත්තු වෙලා නිවෙනවා වගේ. නිකම් ඇහැ රැවටෙන්න ඇති. 

--------------
සුසිල් සම්මානෙ ගත්තට පස්සෙ කතාවකුත් කරා. නෝනටයි කාර්ය මණ්ඩලයටයි ඔක්කොම ස්තුති කරේ. තමන්ව නිකම් හරි මතක් කරයිද, අඩු ගානෙ අම්ම මේක බලන හින්දවත් කියල ජයසේකර නෝනා කං දීගෙන හිටියා. ම්හ්.

 රෑ සුසිල්ලා දොරෙන් එනකොටම ජයසේකර නෝනා ගිහින් බුදියගත්ත.

වෙනදට නං නිකම් කොහොමද උත්සවේ කියලවත් අහනවා. මොකද මොනවා උනත් තමන්ට බැරි වෙද්දි පුතා ළඟයි ලේලි ළඟයි වැටෙන්න වෙනවා කියලා මතක් වෙලා. අද නං හිත සවුත්තු උන තරමට එහෙම වත් කතා කළේ නෑ. මහ ගේ විකුණලා වැඩිහිටි නිවාසෙකට යනවනෙ බැරි ගැහෙද්දි. ඒව තියෙන්නෙත් මිනිස්සුන්ට තමයි.

ඊළඟ දවසේ අනූපමාගේ ඔෆිස් එකේ කට්ටිය එක සිය ගාණකට අරුණලු එකෙන් දවල් කෑම. සම්මානෙ ලැබිච්ච සතුටට. තව සංස්කෘතික ඇමතිතුමාගේ වැඩසටහනක් තියෙනවා උඩ තට්ටුවෙ ලොකු ලොක්කෝ ලංකාව වටෙන්ම එන. එව්ව ලෑස්ති කරන්න එහෙට මෙහෙට කෝල් අරන් සුසිල් කතා කරා තව පැයක් විතර සාලෙට වෙලා. 
-----------
ඊළඟ දවසේ උදේ අනූපමාගේ ඔෆිස් වෑන් එක ඇවිත් නවත්තලා දෙතුන් පාරක් හෝන් කළා. කට්ටියම බලා හිටියේ අනුපමා එනකං, ඇයි ඉතින් ඊයෙ විස්තරේ අහගන්න.

විනාඩි පහක් විතර ගියාට පස්සෙ තමයි ගෙදරට අඳින ඇඳුමක් පටලගෙන අනූපමා දුවගෙන ආවෙ.

‘ඇයි අද එන්නෙ නැද්ද?”

“හරි වැඩේ අනේ. සුසිල්ලගෙ අම්මට‌ ඔලුව උස්සන්න බෑ වමනෙ යනවා පාන්දර ඉඳන්. ප්‍රෙෂර් වැඩි වෙලාද කොහෙද? රාණිත් ගෙදර නෑනෙ. බබා දාලා එන්න විදිහක් නෑ”

“අයියෝ”

“ඔයාලා යන්න, මම ලන්ච් එවන්නම් හොදේ”

වෑන් එක යනකම් බලා ඉඳලා අනූපමා හැරුණා.
---------------
ෂික්. මොනරි වගේ යන්න තිබුණ දවස. අම්ම හිතේ අමාරුවෙන්නෙ හිටියෙ. බෙහෙත් පෙත්ත අමතක වෙන්න ඇති.

අනූපමා මිදුලෙ ඉඳන්ම සුසිල්ට කෝල් එකක් ගත්තේ ඔෆිස් එකට කෑම යවන එක මතක් කරන්න.

සුසිල් ගත්තෙ හරි කලබලෙන්.

“සුසිල්, දහය වෙද්දි ඕන පාර්සල් ගාන හරියට ගාන කියන්නම්, හොඳටම දෙන්න ඕන හොඳේ”

“ඔයා මේ මඟුලක් කතා කරනවා. අද ඩිෂ් වොෂර් එක වැඩකරන්නේ නෑ පාන්දර ඉඳලා. ඒ පැත්තම ඩවුන්. අපි මේ ඉවෙන්ට් එකට මොකද කරන්නේ කියලා දඟලන්නෙ”

Nissanka Rajapaksa

unread,
Oct 1, 2024, 7:26:32 PM10/1/24
to INDRAKA group
34
ඈත දර්ශනපථයක්

- ⁣නිහාල් රාජකරුණානායක  පරිවර්තනය කළ මලයාලම් ලේඛක කාක්කන්දන්ගේ  කෙටිකතාව.

 (ඉරිදා මව්බිම පුවත්පතින්)

මුහුද අද්දරින් පිහිටි ඒ සුවිශාල ගොඩනැඟිල්ලේ මුහුද පෙනෙන තැනක ඉතා කුඩා කුටියක ඔහු සිරකරුවෙක් විය. තමා එහි සිටින්නේ කවදා සිට දැයි ඔහු දැන සිටියේ නැත. එහෙත් සෑහෙන කාලයක් තිස්සේ එහි සිටින්නට ඇත. ඔහු සතුව දින දර්ශනයක් හෝ ලිතක් හෝ නොතිබිණ. ඔරලෝසුවක් හෝ අත්ඔරලෝසුවක් හෝ නොවීය. ඔහුට කාලයේ වටිනාකම ගිලිහී ගොස් තිබිණ.

කෙතරම් කාලයක් ගලා ගියාද එය කුමන වංගු සහිත පාරකින් ගමන් ගත්තාද කියා බිඳක්වත් ඔහු සැලකිල්ලට ගත්තේ නැත. මෙය නිකම්ම නිකං හිර ගෙදරක් නොව, විශාල බළකොටුවක් බව ඔහුට හැඟුණි. ඒ සිරගෙදර ගොඩනගා තිබුණේ මුහුදු වෙරළේ ඇති ශක්තිමත් ගල් තලාවක් මතය.

සිර ගෙදර බිත්ති බැඳ තිබුණේ කළුගලින්ය. ඒවා දැඩි ලෙස ශක්තිමත් විය. මුහුද පැත්තට විවර වුණු ඒ ජනේල කොතරම් ශක්තිමත් වීද යත් අලියකුටවත් ඒවා තල්ලු කළ නොහැකි විය. බිත්තියේ ඝනකම අඩි එකහමාරකටත් වැඩි විය.

ඔහුට දී තිබුණේ ඉතා කුඩා කුටියකි. ඒ තුළ කෙනකුට හරි හැටි එහාට මෙහාට වන්නටවත් ඉඩකඩ නොතිබිණි. එහෙත් හිර ගෙදර තියෙන හිර කාමරවලින් හොඳම එකක් ලැබීම ගැන ඔහු තුළ සැනසුම් සතුටක් විය. මේ කාමරයේ විශේෂත්වය වූයේ මුහුද වෙතට ඇරෙන ජනේලයයි. ජනේලය වසා දැමුණේ සුළඟ ඉතාමත් දැඩි ලෙස හැමූ අවස්ථාවන්වලදී පමණි. තනිව ඉන්නා වූ සිරකාරයකුට ලැබිය හැකි ඉහළම වාසිය ඔහුට ලැබී තිබිණ.

සිරගත වී කෙටි කලකින්ම සිර ගෙදර නිලධාරීන් හා හොඳ සම්බන්ධතාවක් ඇති කර ගත් හෙයින් ඔහුට යම් යම් දේවල් ලැබිණ. නිලධාරියෝ ඔහුට කියවීමට යම් යම් දේ ගෙනත් දුන්හ. ලිවීමට කඩදාසි දුන්හ. මළ මුත්‍රා කිරීම සඳහා බාල්දියක් සිර මැදිරිය තුළම තිබිණ. දීර්ඝ කාලයක්ම බාල්දිය පාවිච්චි කිරීම දුෂ්කර කර්තව්‍යයක් විය.

එහෙත් ඔහු නිලධාරීන් හා සමීප වත්ම එවුහු ඔහුට එළියට යාමට දවසට තුන් හතර පාරක් ‍ෙදාර ඇර දුන්හ. බාල්දිය එහෙම්මම තිබූ නමුත් ඔහුට එය පාව්චිචි කිරීමට අවශ්‍යතාවක් නොතිබිණ. රාත්‍රියේදී ඔහුට ජනේලය හරහා මුත්‍රා කළ හැකි විය. එහෙත් දහවල් කාලයේදී ඉරත්, මුහුදත් ඔහු දිහා බලා ඉන්නා නිසා එසේ කළ නොහැකි විය. මිනී මැරුමකට වරදකරුවකු වූවකුට මේ තරම් පහසුකම් ලබාගත හැකි වූයේ වෙන කොහේද?

සිර මැදිරිය තුළ කැන්වස් පුටුවක් පවා පාවිච්චි කිරීමට ඉඩ දීමට තරම් සිරගෙදර නිලධාරියෝ කාරුණික වූහ. ඔහුට රජෙක් මෙන් කැන්වස් පුටුවේ දිගා වී පොත්පත්, සඟරා කියවමින් යමක් කුරුටු ගාමින් ඉන්නට හැකි විය. මුහුද දිහා බලමින් මුහුදේත්, ජීවිතයේත් අනන්තය ගැන මෙනෙහි කළ හැකි විය. සිය ගණන් සිහින ගෙත්තම් කළ හැකි විය.

ඔහුට සිදුවූයේ ජනේලය තුළින් පෙනෙන දර්ශන පථයන්ගෙන් සතුටු වී සිටීමය.

ධීවර බෝට්ටු ……. මුහුදට උඩින් රංචු ගැසුණු කුරුලු රෑන්, මුහුදු රළ මතට ඊතල මෙන් වැදෙමින් උඩට මතුවෙන මත්ස්‍යන් ඩැහැගෙන යන අයුරු, අෑත මුහුදේ ඉඳහිට නැව් ගමන් ගන්නා අයුරු අපූරු දසුන්ය. මුහුදු වෙරළ ඒ හරියේදී වංගුවක් ගත් හෙයින් තම ජනේලයේ පැත්තකට වී බැලුවොත් ළඟ පාත ඇති ධීවර බෝට්ටුවත්, මාළු වෙළෙ¼දාම් කරන හැටිත් ඔහුට දැකගත හැකි විය. ඔවුන් කියන දේ ඔහුට නෑසුණත් මිනිසුන් එතැන සිටිනු ඔහුට දැනෙන්නට විය. තමා ද ඔවුන් අතර සිටිනු දැනිණ. ඔහු තාමත් සාමාන්‍ය ජනතාවගෙන් අෑත් වී හැකියි යන හැඟීම ඔහුට සතුටක් ගෙන දුන්නේය.

දුරින්වු දර්ශන සේම තමා පිළිබඳ ඔහුගේ දැක්මත් දුරස් වන්නට විය.

සාරවත් මතකයද අෑත දෙයක් විය. පෙනෙනා දේවල් කම්මැලි ගතියක් දනවන්නට විය. එහෙත් ඔහු සෑම දෙයක්ම සෑමදාම දුටුවේය. ඔහු දුටු දේ අෑත යුගයක සත්‍යතාවද? එසේත් නැත්නම් මායාත්මක සංකල්පද? ඔහු කිසිවක් නොදන්නා බව ඔහුට හැඟුණේය. දුෂ්ටකම හා දුක මෝඩකමක් යැයි ඔහුට හැඟුණ විට ඔහු තුළ තමා ගැන කනගාටුවක් ඇති විය. ඒ කනගාටුව මහත් ශෝකයකට පරිවර්තනය විය.

ඔහුගේ මතකයේ එක් අෑත දර්ශනයක් වූයේ සරසූ හෙවත් සරස්වතීගේ මුහුණය. මැළවුණු ලේ බිඳක්වත් නැති ඇස්, පිරී තිබිය යුතුමුත් නොපිරුණු කම්මුල්, සෑමවිටම වියළුණු තොල් පෙති, කෙට්ටුම කෙට්ටු හම පමණක් තිබුණු ශරීරය. එහෙත් යම්කිසි අධ්‍යාත්මික අලංකාරයකින් සියලු අවලස්සන මකා පිස දැමිණ. සරසූ ප්‍රේමයේත් යටහත් පහත්කමේත් සංකේතයක් විය.

අෑ දුක් වූ විට ඇගේ ඇස් පිරෙන්නට විය. අෑ පී්‍රති වූ විටත් ඇගේ දෙනෙත් පිරෙන්නට විය. ආදර හැඟුම් ඇතිවිටත් ඇස් පිරෙන්නට විය. අෑ සිනාසෙන විට ඇගේ ඇස් තෙත් වන්නට විය. ඔහුගේ පැරණි මතක ගබඩාවෙහි ඒ අහිංසක කෙල්ල සැරසූ බලවත් ලෙස ජීවත්වනු ඔහු දැනිණ.

“ඔයා කොහේ ගියත් මම ඔයා එක්ක ඉන්නවා” ඇගේ වචන තවමත් නැවුම්ය. අෑ මෙතැනත් ඉන්න බව දැනෙන්නට විය. මේ වර්තමානයේ මුහුදු වෙරළේ සිරගෙදර සිටිනවා යයි දැනිණ. ඔහු බටහිර දෙස බැලුවේය. දුර අෑත නැව් දෙකක් ගමන් ගන්නා අතර දුර්වල සූර්යයා මුහුදේ හදවතට ගිලා බසිනු පෙනිණ. රෝස පැහැති සැන්දෑ වලා චිත්‍රයේ ඔහු සරසුගේ මැලවුණු මුහුණ දුටුවේය.

“මාත් එක්ක ජීවිතයේ ගැන හිතන්න එපා සරසූ” ඔහු හුඟ කාලයකට පෙර ඇයට ඵයා තිබිණ.

“ඔයා මගෙ ජිවන රටාව දන්නවනේ. අර කවියෙක් කිව්ව වගේ මම ගිනි ජාලාවක් උඩින් කෙස් ගහක් තරම්වත් පළල් නැති පාලමක් මතින් ගමන් ගන්නා මඟියෙක්. ඉතින් මාත් එක්ක ජීවිතේ ගෙවන්න එන්න එපා.”

“ඒත් ඒක තමයි මගේ දෛවය” අෑ කීවාය.

ඔහු හැඟුම්බරව ‘සරසු” කීවේය. අෑ සිනාවක් පෑවාය. ඇගේ ඇස් තෙත් විය.

“ඔයා දුක්වෙන්න ඕනැ නෑ” ඇගේ සිනාවේ කඳුළුවල මුදු බවක් තිබිණ. “මම කොහොමවත් මගේ දෛවය ගැන කලකිරිලා නෑ. අනිත් අතට මම හොඳට සෑහීමකට පත් වෙලා, සතුටින් ඉන්නෙ. මේ දෛවය තමයි මට ජීවිතයට තේරුමක් දෙන්නෙ.”

අෑත හුඟක් අෑත සමහර විට මුහුදටත් නිම් වළල්ලටත් අෑත වරිච්චි බිත්ති ඇති පොල්අතු පැලේ ඉටි පන්දම් දැල්වෙමින් තිබිණ. එහි කාමරය මේ හිර මැදිරියට වඩා බිඳක් ලොකු විය. පිටත කළුවරේ සුළඟ ශබ්ද නඟා හමන්නට විය. සුළඟ දැඩි ලෙස කැලෑවේ ගස් අතර හමන්නට විය. රාත්‍රිය කැලයේදී අමාවක දිනකටත් වඩා අඳුරු විය. පැලේ සිදුරක් තුළින් හමා ආ සුළං රැළ ඉටිපන්දම් දැල්ල සෙලවූවේය. සමහර විට එය නිවා දැම්මේය.

දැල්වුණු ඉටිපන්දම් වටා තරුණයෝ කිහිපදෙනෙක් පැදුරු මත ඉඳගෙන හෝ ඇන තියාගෙන ඉඳගෙන හෝ සිටියහ. ඔවුන්ගේ ආහාර වූයේ බීඩි සහ වතුරය. පාන් කලින්ම ඉවර වී තිබිණ. ඒවා දැන් දිරවා ඇත. ඔවුහු නැවත බඩගින්නෙන් දැවෙන්නට වූහ. නහරවල ලේ කෝප වන්නට විය. උනන්දුව ඔවුන් ඇතුළතින් දැල්වෙන්නට විය.

“මට හිතෙනවා මේක තවත් කල් දාන්න ඕනෑ නෑ කියල”

“ඇත්ත අපිට ඕනෑ තොරතුරු ඔක්කොම ලැබිලා තියෙන්නේ. දැන් අපේ සැලැස්ම හුඟක් දුරට පැහැදිලියි. අපිට තව ඕනේ සවිස්තර තොරතුරු ටිකක් පමණයි. හරිද? ඒකට සතියක් මදිද?”

“ඕනෑවටත් වැඩියි. ඒත් අපි හැමදෙනාම මේ සතියේ හොඳ අවධානයෙන් ඉන්න ඕනෑ. අපි හොඳට ක්‍රියාශීලි වෙන්න ඕනෑ. අපේ මුළු ශරීරයම ඇස් කන් නාස් වෙන්න ඕනෑ. අපි හැම දෙයක්ම දකින්න ඕනෑ. කිසිම සුඳවඳක්වත්, හඬක්වත් අපෙන් බේරෙන්ඩ නරකයි!”

“ඒ කියන්නේ අපි ඊළඟ සතියෙත් මුණගැහෙන්න ඕනැ. එහෙමද?”

“ඔව් හරියටම අදින් සුමානෙකට පස්සෙ, ඒ කියන්නෙ ලබන බ්‍රහස්පතින්දා අපි මුණගැහෙන්න ඕනැ.”

“අපි එතකොට අපි අපේ අන්තිම තීරණේ ගන්න ඕනැ.”

“ඒ ගැන සැකකරන්නේ මොකටද? ඇත්තෙන්ම අපි අපේ අවසාන තීන්දුව අරගෙන, අපි එන සතියේ මුණගැහෙන්නේ අපේ සැලසුම් ක්‍රියාත්මක කිරීම ගැන අවසාන වශයෙන් කතා කරන්න”

“කොහෙදිද?”

“මෙතැන. කවුරුවත් අපේ මේ හැංගෙන තැන සොයාගෙන නෑ”

“දැන් අපි විසිරෙනවා. ඒ කියන්නේ එළිවෙන්න කලින්. තව ටිකකින් හඳ පායාවි. එක එක්කෙනා තමුන්ට පහසු විදියට පිටවිය හැකියි. හැම කෙනෙක්ම තනියම පිට වෙන්න ඕනැ. එක්කෙනකුට එක්කෙනෙක් පාරෙ මුණ ගැහුණොත් හිනාවෙන්නවත්, කතා කරන්නවත් බෑ. ඔක්කොම සිනා ඔක්කොම කතා එන සුමානෙ!”

අපි එදා විසිර ගියෙමු.

ඊළඟ සතියේ රැස්වීමට සහභාගි වීමට තමා නොසිටි බව ඔහුට මතක් විය. මේ අතර ඔහුගේ ජීවිතය වෙනත් දිශාවකට යොමු විය. නොසිතූ අකරතැබ්බයක් නිසා ජීවිතය වෙනත් මඟක් ගත්තේය.

ඔහු ජනේලයෙන් පිටත බැලුවේය. මුහුද ඉහළින් පෙනෙන්නේ සැන්දෑවයි. සැම එක් සැන්දෑවක්ම තවත් සැන්දෑවකට වෙනස් වෙයි. සූර්යයා අහසින් බසිනා අතර අදින චිත්‍රයද එකිනෙක වෙනස් වෙයි.

ඔහුට ඒ දරුණු සිද්ධිය ගැන දැන ගැනීමට ලැබුණේ කැලයේ සිට හොඳටම තෙහෙට්ටුවෙන් පැමිණි ඒ සිකුරාදා දහවල්ය. ගරා වැටුණු වලව් පවුලකට අයත් දඩබ්බර වෙල්ලපන් පිල්ලේ නම් වලත්තයා අඩු කුලයේ කෙල්ලක වන තාරාගේ නිවෙසට කඩා වැදී ඇය දූෂණය කර තිබිණ. කෙල්ල ගඟට පැන දිවි නසා ගන්නට උත්සාහ කළාය. කවරෙකු හෝ ඇය බේරාගෙන තිබිණ.

තාරා ගම්සභාපති රාමන්ගේ දුවය. ඔහු කිහිප වාරයක් ඇය දැක තිබිණ. අවුරුදු පහළොවක අහිංසක කෙල්ලක්. කළුයි, ඒත් රූමතියක් නොවේ. එහෙත් ළමිස්සියක් සතු සිත් ඇදගන්නා සුලු ස්වභාවයක් අෑ සතු විය. ඔහුගේ මව ඇයට ළෙන්ගතු විය. තාරා තම මවට බොහෝ අවස්ථාවලදී අත් උදව් කළාය.

ඔහුට කෘෘර වීමට දූෂණය කිරීමේ සිද්ධියට වඩා තවත් දෙයක් තිබිණ. මේ දූෂණය කිරීමේ සිද්ධිය පිළිබඳ ‍ෙදාස් නඟන්නට ගිය රාමන්ගේ සහ රාමන්ගේ මිත්‍රයන්ට වෙල්ලපන් සහ උගේ සහචරයෙන් පහරදී තිබිණ.

වෙල්ලපන් පිල්ලේ හැම තැනම කයිවාරු කියමින් යන බව ඔහුට දැනගන්නට ලැබිණ. “මේ වෙරළේ වට්ටපරම්බි වෙල්ලපන්ගෙන් ප්‍රශ්න කරන්ඩ එන්නෙ කවුද?”

එහෙත් “මේ දාමරිකකම් ගැන ප්‍රශ්න කරන්නට කවුරු හරි ඇති” යැයි හේ තමාටම කියා ගත්තේය. එදා සැන්දෑවේ ඔහු ඉත පරෙස්සමෙන් ගමේ පොල වෙත ඇදුණේය.

කෝවිල අසල පාර අයිනේ ගල් පරයක් මත ඉඳගෙන උන් වෙල්ලපන් පිල්ලේ පිහියක් මුවත් තියමින් සිටියේය. ඔහුගේ හෙන්චයියෝ දෙතුන් දෙනෙක්ද එතැන සිටියහ.

ඔහු කිට්ටුවට යත්ම “ආ උඹලගේ විප්ලවේට මොකද වෙලා තියෙන්නෙ?” වෙල්ලපන් පිල්ලේ ඇසුවේය.

එයට පිළිතුරු නොදුන් ඔහු ඉතා අවධාරණයෙන් මාතෘකාවට බැස්සේය.

“ආ ඒ ගැන අහන්ඩ උඹ කවුද? ඒ අඩු කුලේ කෙල්ලගෙ කසාද මිනිහද?” වෙල්ලපන් පිල්ලේ මොර හඬ ලෑවේය. ඔහුගේ සහචරයෝ හඬලා සිනාසුණෝය.

“බලාපල්ලකො කවුද මේ අහන්නෙ කියල!”

ඔහු පිළිතුරු දුන්නේ වචනයෙන් නොවේ. ඔවුනතර හොඳ ගුටිබැට හුවමාරුවක් ඇති විණ. වෙල්ලපන් පිල්ලේ සහ ඔහුගේ මිත්‍රයන් සමඟ තනියම සටන් කරන්නට සිදුවිය. අවසානයේදී තම ජීවිතය අනතුරේ ඇති බව ඔහුට දැනුණේය. ඔහු වෙල්ලපන් පිල්ලේගේ කිරිච්චිය උදුරාගෙන වෙල්ලන්ට තදින් ඇන්නේය. ජනතාව කියන්නේ ලේ පාර නුග ගහ මුදුනටම විද්දා කියාය. වෙල්ලපන් පිල්ලේ එතැනම මියැදිණ.

බැස යන හිරු මුහුදින් එහා ඇති අහස් තලයේ ලේ හළා ඇත.

ඔහු නිකට අත ගෑවේය. රැවුල් කොට වැවී ඇත. කමක් නැත. හෙට කරණවෑමියා සිර ගෙදර එන්නට නියමිතය.



Nissanka Rajapaksa

unread,
Oct 2, 2024, 8:13:04 PM10/2/24
to INDRAKA group
35
 නිමේෂයක අතරමංව 

- භානුක කෝනාර

වෙහෙසකර රාජකාරි දිනයක අවසානයේ බර සුසුමක් හෙලූ මා ආයතනයෙන් බැහැරට ගියේ මටම නොතේරෙන ගැඹුරු කල්පනාවක නිග්මන්වයි. කාර්‍යාල බෑගය කිහිල්ලේ ගසාගත් මා තැබෑරුම වෙත් පිය නැගුවේ හෙට දිනය නිවාඩු දිනයක් බැවින් මත්පැන් කාලක් බෑගය තුලට දමාගැනීමටයි. වෙනදාටනම් සති අන්තය සදහා බාගයක් මිලදීගත්තද මිල ඉහල යෑම නිසා කාලකින් සිත සනසාගැනීමට සිදුවී ඇත. කාලේ කුප්පියක් බෑගයට ඔබාගත් මා රුපියල් පනහක කඩලද රැගෙන එයද බෑගයට ඔබා ගතිමි. ඉන් පසු බිරිඳ විසින් ලබා දී තිබූ ලැයිස්තුවේ භාන්ඩද සියල්ල මිලදීගත් මා බස් නැවතුම වෙතට පැමිනියේ දහදියෙන් පෙඟී ගොසිනි. 

මිනිත්තු පහලොවක් පමන බස් නැවතුමේ රැඳී සිටි මා අත් ඔරලෝසුව වෙත දෑස යොමන විට එහි 05:45 ලෙස සටහන්ව තිබුනු අතර මා හට සැනසුම් සුසුමක් හෙලුනේ ඈතින් පැමිනෙන බස් රථය දුටු විටයි. වෙනදා මෙන්ම බස් රථය මගීන්ගෙන් පිරී ඉතිරී ගොසිනි. පාපුවරුවේද පයක් තබාගැනීමට ඉඩක් නොමැති තරමට පිරීගොස් තිබුනද මා දිවගොස් පාපුවරුවේ එල්ලී ගත්තේ නැවත පැමිනෙන බස් රථයද මෙයට නොදෙවෙනි නොවන බව දන්නා නිසාය. බොහොම අමාරුවෙන් එක පයක් තබා අත සෙනග අතරින් රිංගවා අහුවුනු යමක් අල්ලා මට පැමිනීමට හැකිවූයේ මිනිත්තු කිහිපයක් පමනි. මගේ පය ලිස්සා මා බස්‍ රථයෙන් විසිවීයනු මට දැනිනි. එහෙත් එක වරම ඇතුලත සිටි අයෙක් මා අල්ලාගත් නිසා මගේ ජීවිතය බේරුනු බව මට හැගී ගියෙන් මා නැවතත් සුසුමක් හෙලුවෙමි.

වෙනදාට වඩා ඉක්මනින් ගමනාන්තය වෙත පැමිනි බවක් හැගුනෙන් බසයෙන් බට මා ඔරලෝසුව දෙස බැලුවද එහි කටු 05:50 න් නතරව ඇති බව මට දැක ගැනීමට හැකිවීය. පසුගිය මාස තුනට දෙවතාවක් බැටරි මාරු කල ඔරලෝසුව නැවතත් නතරව ඇති නිසා මගේ සිතේ යම් කෝපයක්ද හට ගැනුනද එය අමතක කොට මා ගුරු පාර දිගේ ඇදුනේ සිරුරට මහත් වෙහෙසක් දැනුනු නිසාවෙනි.

ගේට්ටුව ඇර තිබූ අතර නිවසේ පහන් දැල්වී තිබුනි. ඉස්තෝප්පුව වෙත ඇදුනු මා බෑග දෙක  කනප්පුව මත තබා පැරනි හාන්සිපුටුවේ මදක් ඇලවුනේ ඇදුම් දෙන කොන්ද සහ දෙපා වලට සහනයක් දීමේ අරමුනිනි. 

" කාන්තී...... අනේ මට වතුර එකක් ගෙනත් දෙන්න...."

යැයි නිවස තුලට හිස යොමා හඬගා සිටි මා නැවත හාන්සිවී දෑස් මදක් පියා ගතිමි. ටික මොහොතකට පසු මා දෑස් විවර කොට බැලුවේ ඉතා කලබලයෙන් නිවසින් පිටව යන කාන්තී සහ දරු දෙදෙනාගේ හඬටයි. වතුර වීදුරුවක් රැගෙන නොආ ඔවුන් මා දෙස නොබලාම පිටව ගියෝය. ඔවුන් යන්නේ කොහිදැයි මා විමසුවද එයට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා ඔවුන් ඉතා ඉක්මනින් ගේට්ටුවෙන් ද ඉවතට ගොස් තිබුනු. මා නැවතත් දෑස් පියාගත්තේ දැනුනු අධික වෙහෙස නිසාවෙන්මයි.

මා කෙතරම් වේලාවක් හාන්සි පුටුවේ සිටියේදැයි නොදනිමි. මා දෑස් හැර බලන විට පසුදින දහවලද උදාවී ඇතිබව මට හැගුනේ මුහුනට වැටුනු දැඩි හිරු රශ්මිය නිසාවෙනි. දෑස් අවට සිසාරා බලනවිට නිවස හා ගෙමිදුල පුරා පිරිසක් රැස්වී සිටිනු දුටු මාද කලබලවීමි. කාන්තී.... කාන්තී යැයි බිරිඳට හඬගසමිනි මා නිවස තුලට ඉක්මනින් රිංගාගත්තේ සිදුවන්නෙ කුමක්දැයි සිතා ගැනීමට තරම් මගේ මනස නිරවුල්ව නොතිබූ නිසාවෙනි.

නිවස තුල බඩු භාන්ඩ සියල්ල තැන් තැන් වලට අහුරා තිබූ අතර සාලය මැද ඉඩක් ඉතුරු කොට තිබුනි. අසල්වාසීන් හා ඥාතීන් කීප දෙනෙක්ම මා අසලින් ඔබ මොබ ඇවිද ගියද ඔවුන් කිසිවෙකු මා ගනනකට නොගත් අතර මාගේ ප්‍රශ්න කිසිවකට ඔවුන් පිලිතුරක් දීමට නොනැවතී ඔවුන්ගේ කාර්‍යයන්හීම නිරතව සිටියෝය.

නිවස තුල සිටි සියල්ලන්ම වාගේ එකවරම නිවසින් එලියට ඇදෙන බවක් හැගුනෙන් මාද ඔවුන් පසුපස පියමැන්නේ අනිච්චානුගවමයි. මිදුල මැද අවමංගල රථයක් නතරව තිබුනු අතර ගමේ තරුනයි කීප දෙනෙකු විසින් එයින් ඉවතට ගත් මිනී පෙට්ටියක් සාලය මැද සකසා තිබූ ඉඩෙහි සීරුවෙන් තබන ලදී. උඩුවියන් ඇත්දල යුගලය හා පහන් ද එකිනෙක ඒ වටා පිලියෙල කෙරුනු අතර වටා රැස්ව සිටි කිහිපදෙනා අතරට මාද එක්වීමි.

අවමංගල ආයතනයෙන් පැමිනුනු පුද්ගලයායැයි හැගුනු පුද්ගලයෙකු විසින් සීරුවට අවමංගල දෙන විවර කරන්නට යෙදුනු අතර මා පිරිස අතරින් හිස ඒ දෙසට යොමු කලේ කුතුහලයෙනි. මාගේ සිරුර එක්වරම සිහින් හිරියකින් වෙලී ගියේ දෙනෙහි නිදාසිටින පුද්ගලයාගේ රුව දැකීමෙනි. සුදු කමිසයකින් හා කලු කලිසමකින් සරසා අත් හා පා මේස් දමා දෙපාගැලි ගැට ගසා වැතිරී සිටි ඔහුගේ හිස පෙදෙස පුලුන් ආවරනයක් යොදා සකසා තුබුනි. මුහුනෙහිද තුවාල සලකුනු සහිතව සුදුමැලිව ගොස් තිබුනද ඒ සිටින්නේ මා බැව් හඳුනා ගැනීමට මට අපහසු නොවුනි. බිරිඳ හා දරු දෙදෙනා එක වරම මහා හඬින් විලාප දෙමින් අවමංගල දෙන වෙත ඇදෙනු දුටු මාගේ සිත කීරී ගැසෙන තරමේ වේදනාවකින් වෙලී ගියෙන් මා සෙමින් එතැනින් ඉවත්ව නැවතත් ඉස්තෝප්පුවේ හාන්සි පුටුව වෙත පැමිනි ඇලවී දෑස් පියාගතිමි.

දැස් පියාගත් මා හට කාර්‍යාලයෙන් බැහැර වූ තැන් සිට සිදුවූ සියල්ල එකිනෙක චිත්‍රපටයක මෙන් දෑස් ඉදිරියේ මැවෙන්නටවිනි. බස් රථයෙන් විසිව ගිය මාගේ හිස තාර පොලොව මත වැදෙනු මට දැනුනේ කුලුගෙඩි පහරක් මෙන් ආවේගයකිනි. එකෙනෙහිම මා සිරුර සැහැල්ලුව ගිය අතර බස් රථයෙන් බට සෙනග මා වටකරගන්න්නා අයුරු බොදව යමින් තිබූ දෙනෙතට යන්තමින් මතකය.

ගෙවීගිය කාලය පිලිබද නිශ්චිත හැගීමක් නොවූ මා හාන්සි පුටුවෙන් නැගිට ගත්තේ යමෙකු මා සොලවන බවක් දැනුනු නිසාවෙනි. මාගේ දස හැවිරිදි සුරතල් දියනිය මාව සොලවමින් අවදි කිරීමට උත්සහ ගෙන තිබුනි. 

" තාත්තිට මහන්සියට හාන්සි පුටුවෙම නින්ද ගිහින් නේද .... මේ අම්මි ගෙනාපු තේ එකත් නිවිල...... දැන් හතත් පහුවෙලා තාත්තා ඇඟ සෝදන් එන්න අම්මි අද රොටී හදන්නෙ. තාත්ති ආසයිනෙ රොටී කන්න....." 

ඇගේ සුරතල් මිහිරි හඬ මාගේ දෙසවන් පුරාවා හදවතටම ගලාගොස් නැවතුනේ මාගේ දෑස් තෙත් කරමිනි. ඇයව ලඟට ගත් මා ඇගේ හිස දැඩිව පපුවට තද කරගත් මා ඇගේ හිසට උනුසුම් හාදුවක් දුන්නේ උනුසුම් කඳුලු කැට කිහිපයකින්ද ඇගේ සියුමැලි හිස තෙමාදමමිනි.

Nissanka Rajapaksa

unread,
Oct 3, 2024, 9:04:38 PM10/3/24
to INDRAKA group
36
නිර්වාණා

- කවීෂ ගිම්හාන්

තනිකම කියන්නෙ ඇත්තටම මහ පුදුමාකාර දෙයක්. වරක් තනිකම හා ආදරෙන් බැඳුනොත් එය හැර දමා යාමට නොහැකි වන තරමින් බැඳෙයි. තනි වූ විටදී පවා තනි නොවෙයි. සැම විටෙකම තවකෙකු සීටී. ඒ තමාමය. එය තනිකම හා ආදරෙන් නොබැඳුනු කෙනෙකු කිසිවිටෙකත් නොදනී. එවැනි සුන්දර වූ ආලයක් ලැබීම ජීවිතයේ ලද මහත් වූ භාග්‍යකි... නමුත් මෙය වෙනස්ම ආකාරයේ හැඟීමකි. වචනයෙන් විස්තර කල නොහැකිය.

විටෙක මේ ඇය සිත හදා ගැනීමට වෙර දරන වෑයමක් විය හැක. නැතහොත් සත්‍යයක්ම ද විය හැක. කවුද එය නිවැරදිව දන්නෙ.... ඒ ඇයම විය යුතුය. නැතිනම් ඇයද මුලාවී සිටිනවා විය හැක.

ඇය යදම් වලින් බැදි මේ සමාජය දෙස දුර සිට බලා සිටියි. පිලිකුල් වූ නරුමයන් කිහිපදෙනෙකු විසින් දූශනයට ලක්වන තරුණියකි. ඒ දෙසද කනස්සල්ලෙන් යුත් වූ බැල්මකින් බලා සිටියි. ලබන්නා වූ සියුම් අනිත්‍යය වූ තෘප්තියක් වෙනුවෙන් කරන්නා වූ මෙවනි ක්‍රියාකාරකම් හුදෙක්ම එක්තරා ආකාරයක විහිලුවකි. හුදෙක්ම මුවගට සිනාගෙන දෙන්නකි. නමුත් යතාර්ථය නම් ඇයට එය එලෙස වූ හැගීමක් නම් නොවේ. මන්දයත් ඒ තරුණිය ඇයයි. නමුත් ඇයම නොවේ. 

...........................................................................

"අම්මේ... ස්කෝලේ යන්න පරක්කු වෙනවා.. කෑම එක ලෑස්තිද? "ඇයගේ හඬ නිවස පුරාම පැතිර ගියේය..
"මොකද නිර්වාණා කෑ ගහන්නේ? පරක්කු වෙනවා නම් කලින් නැගිටින්න ඕනි නේ.. කෑම එක ලෑස්තියි.. ආහ්හ් ගන්න.." ඒ අම්මාය.. කුස්සියේ සිට නිර්වාණා වෙතට පැමිනෙමින් එලෙස පැවසුවේ මතුපිටින් හටගත් සියුම් කෝපයත් නමුත් ඇතුලාන්තයෙන් වූ ඉමහත් ආදරයත් කැටිකර ගනිමිනි...

"දුවේ පරිස්සමින් ගිහින් එන්න... මගේ දුවට තෙරුවන් සරණයි..." හදපතුලෙ සැඟවෙමින් තිබූ ඒ ආලය පිටතට මෝදු වෙද්දි ... තම දෙපා නැමදී, නිර්වාණාගේ හිස අතගාමින් එලෙස පැවසුවේය. සිය මවගේ ලයේ උණුසුම ලබමින් සිටි නිර්වාණා නිමේශයෙන් මවගෙන් ඉවතට ඇදුනේ සිය තරඟකාරී දිවිගමනේ අම්මා යනු එක් නැවතුම්පොලක්ම පමණක් වන නිසාය.

"හරි අම්මේ මං යනෝ.." නිර්වාණාගේ හඬ කෙමෙන් අඩු වී වියකී යයී. කාලය දුර වේගය හුදෙක් විද්‍යාත්මක සංසිද්ධීන් ලෙස පමණක් අර්ථ දැක්වීම වැරදී. එය තරම් වූ සංකීර්ණ දෙයක් තවත් නැත. ඒ පිලිබඳ ගැඹුරින් සිතන ඕනීම අයෙකුට ඒවායේ සංකීර්ණ බව නිතතින්ම පසක් වෙන්නකි. ඒවා පමණක්ම නොවේ ගැඹුරින් සිතද්දි මිනිස් මනසට දරා ගත නොහැකි තරම් මේ ලෝකයත් ලෝකයේ සියලු දේත් ඇත්තවශයෙන්ම විශ්වයත් ඉතාමත් සංකීර්ණය.... විශ්වය කියන්නෙ විවිධ වූ ශක්තීන් සමූහයක් පමණක්මද? නැතහොත් ඇත්තවශයෙන්ම විශ්වය කියා දෙයක් ඇත්ද? නැතහොත් මේ සියල්ල මිනිස් මනසේ සිදුවන මුලා කිරීමක්ද? 

නිර්වාණා කහ ඉරමතදී වේගෙන් පැමිණි මෝටර්රථයක් හා ගැටී එම අවස්ථාවේදීම මෙලොව හැර යන්නේ සිය භෞතික ශරිරය ඇයට කිසිසේත්ම උරුම නොවූ දෙයක් නිසාවෙනි. නිර්වාණාගේ නොසැලකිලිමත් බව හෝ නිසි වෙලාවට පාසලට ලගා වීමට තිබූ උවමනාව හෝ මෝටර්රියේ වේගය හෝ මෝටර්රථ රියදුරුගේ උවමනාව හෝ කුමක් හෝ නිසාවෙන් සිදු වූයේ සිදු විය යුතු දෙයක්ම ය... ඒ සදහා කිසිවෙකුටත් වැරද්ද පටවා පලක් නැත....

නමුත් නිර්වාණාගේ දෙමාපියන්ට මේ දරා ගත නොහැකි වූ සිදු වීම හුදෙක්ම මෝටර්රථ රියදුරු වෙතට පැවරීම ඔවුනට ගෙන දුන් මහත් සහනයකි.. නමුත් නිර්වාණාටත් එය එසේමද? නැතහොත් ඇය සිතන්නේ එය පෙර භවයකදී ඇය කෙරූ වැරැද්දකට ලද ලැබිය යුතුම දඩුවමක් ලෙසද? කවුරුන්ද එය දන්නෙ? නිර්වාණාම පමණක් එය දනී.

මරණින් පසු වන්නෙ කුමක්ද කියා දැන ගැනීමට නම් මිය යායුතුමය.. අපගේ සංසාරගමනේ කොතෙක් නම් වාරය අපි මියගොස් ඇත්ද? ඒත් මියයාමෙන් පසු වන්නෙ කුමක්ද කියා අපගේ මතකයේ නැත්තේ මන්ද? එලෙස මතකයේ නැත්නම් ඕනි තරම් වැරදි කලාට කම් නැත. මිය යාමෙන් පසු, මුලු සංසාරගමනේ සිදු වූ සියලු සිදුවීම් සිය මතකයට නැවත පැමිණෙනවා විය හැක. නමුත් කවුරුන්ද එය ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දන්නෙ? ඒ පිලිබඳ දැන ගැනීමට නම් නිර්වාණා නැවත මරණයෙන් නැගිටිය යුතුය. නැවත උප්පත්තිය ඒ හා නොගැලපේ.. එබැවින් පෙර සිට පැවත එන විශ්වාසයන් මත යැපීම පමණක් යහපත්ය....

නිර්වාණාගේ මාපිය හිත මිතුරුආදීන්ගෙ දුක් අදෝනා මැද නිර්වාණාට අයිති වූ නමුත් සැබැවින්ම ඇගේ නොවන ඒ ශරීරය රෝහලේ සිට මල්ශාලාවක් වෙත ගෙනියන්නේ නිර්වාණාගේ අවසන් ගමන අනෙකාගේ ගෞරව ලැබීමට සුදුසු ආකාරයෙන් සකස් කිරීමටය... නමුත් භෞතික ශරීරයවත් බාහිර සමාජයවත් නොව ගෞරව ලැබීමට නම් තමන් විසින් කරන කියන ලද්දා වූ කුසල ධර්මයන්ම පමණක් හේතු වෙයි. දැන් එය නිර්වානාට වැටහෙනවා ඇත්ද?

තවමත් තමන්ට අයිති තමන්ගේ නොවන ඒ ශරීරය පසු පස ගමන් කරන්නෙ නිර්වාණාය. නමුත් ඒ නිර්වාණාම නොවේ. ඒ නමවත් ඇයට අයිති නැත. නමුත් ඇය ඊට අයිතිවාසිකම් කියයි. 

සිය සිරුර දෙස බලා සිටිමින් ඇය ශෝක වෙනවා නොඅනුමානය. මන්දයත් ඇය තවමත් සිය සිරුරට මෙන්ම මාපිය යහලු මිත්‍රාදී බැදීම් වලට ආසවෙන් එය වැලඳගත් අයෙක්ම වන නිසාය... තමා මිය යාමට තරම් අනතුර දැඩි නොවිය යුතුය. මන්දයත් සිරුර නිසි ආකාරෙන්ම මානව කාන්තා ලාලිත්‍යය පෙන්වා දෙයි. නමුත් දරදඩු වී ඇත.
"ඔලුව ගලක වගේ මොකක් හරි මොට්ට දේක වැදිලා අභ්‍යන්තර රුධිර වහනයකින් තමා නිර්වාණා මිය ගිහින් තියෙන්නෙ. මෝටර්රථයේ ගැටීමෙන් ලොකු හානියක් නිර්වාණාට වෙලා නෑ" ඒ වෛද්‍යවරුන්ගේ නිගමනයයි. තම සිරුර දෙස බලමින් කනස්සලු වෙන ඇගේ මනසේ ඒ සිදුවීම රැව් පිලිරැව් දෙයි.

 දැන් කුමක් නම් කරන්නද ? ඇය නිරතුරු පසු තැවිල්ලේය. ඉන්පසු දුටු දේ ඇත්තෙන්ම ඇගේ හද ඇත්තවශයෙන්ම මනස මුලුමනින්ම කම්පාවට පත් කරන ලද්දකි. ප්‍රාණය නිරුද්ධ නිර්වාණාගේ සිරුර කිහිපදෙනෙකු විසින් මල්ශාලාවේදි අතවරයට ලක් කරයි. පිවිතුරු යයි කියූ ශරීරය ඇත්ත වශයෙන්ම ඔවුන් විසින් අපවිත්‍ර කරනු ලබයි. එලෙසම ඒ දෙස බලා සිටීමට තරම්ම ඇය අවාසනාවන්තියකි.

...........................................................................

ඇයට ඇති වූයේ කම්පාවක්ද නැතහොත් කලකිරීමක්ද? එහෙව් මානසික රෝගීන්ගෙන් සමන්විත වූ සමාජයකයි ඇය ජීවත් වූයේ. ප්‍රාණය නිරුද්ධ මලකඳක් දූශනය කල අය පමණක්ම නොවේ මානසික රෝගින් වන්නේ.... ඇය ඇගේ කාලාවකාශයෙන් නිමේශයක් පමණක් ඔවුන් දෙස බලා සිට හුදෙක් ඇගේම වූ සංසාර ගමන නැවත නැවත නැවතත් ඇවිද යයි.....


Badra Kamaladasa

unread,
Oct 4, 2024, 3:34:57 AM10/4/24
to ind...@googlegroups.com
අනර්ඝයි

With Kind regards
Badra Kamaladasa

Water Resources Engineer/Freelance Consultant
Mobile +94 71 800 8037


--

---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/indraka/CAFRcW-Kd5LjJmj_-bpGQpR45chqrdGnuF3QrP4se5Wc9nwR%2Bsw%40mail.gmail.com.

Nissanka Rajapaksa

unread,
Oct 4, 2024, 8:44:38 PM10/4/24
to INDRAKA group
37
ගිනි 

- පවිත්‍රා අභයවර්ධන

මාසයක් වත් එක තැනක වැඩ කරන්න බැරි සැමියා අද හැදෙයි හෙට හැදෙයි කියල බලං ඉඳලා බඩගින්න උහුලන්න බැරි මාස ගාණක් ගෙව්වට පස්සේ චම්පා වැඩකට යන්න ගත්තෙ. අනික චම්පාට හොදට අදින්න පළදින්න ඕන. ඒවට සල්ලි ඔන. හොදට බේරිලා තියෙන ඇඟ පත, කැපිලා පේණ මූණ කට නිසා රස්සාවක් හොයාගන්න අමාරු උනේ නෑ.
ටික දවසක් රස්සාව කරලා චම්පාගෙ බඩගින්න නිවුණා.
 ඒත් තව තව දේවල් ගොඩකට ආසාව ගින්දර වගේ හිතේ මතුවුණේ ආයතනයේ තව හැඩ වැඩට අඳින කෙල්ලො හිටපු නිසා.
ඒ පාර චම්පාගෙ ඇස්වලින් කාන්දු වුණේ ගිනි පුපුරු.
තමන් ගෙනා දේවල් කකා දවල් තිස්සේ රස්තියාදු ගහන සැමියා ගැන තිබුණු ඇල්ම අන්තෙටම හිඳිලා නිසා ඒ ගිනි පුපුරු ඇවිලෙන්න ලෑස්ති ඇස් දෙකක් හොය හොය මාස ගාණක් දස අත විසිරුණා. 
පිළිගැනීමේ කවුන්ටරයේ ඉන්න ‌මේ කෙල්ලගෙ ඇස්වල ගිනි පුපුරු පිරිමි ගොඩකගේ ඇස්වල වැදුණත් සමහරු ඒ ගිනි අගුරු කකුලෙන් විසි කරලා පිළිකුළෙන් අහක බැලුවා. සමහර ආස උනත් අහුලලා දැලි ගාගන්න තියෙන ලැජ්ජා බය නිසා අහක බැලුවා. නමුත් කීප දෙනෙක්ගේ ඇස්වල හදවතේ වගේම තව තව අවයවයන්ගේ ගිනි ඇවිළුණා.
ඉස්සර උනේ සමන්ත. කුළුඳුල් දරුවා ලැබිලා බිරිඳ මැහුම් වල අමාරුවෙන් කොන්දෙ අමාරුවෙන් ඒ වැඩ වලට වෙහෙසෙන නිසා හදවතත් ඇඟපතත් 
සීතල උන සමන්ත.
එකට කෑම කාමරේ කන්න ගිහින් විසුවුණු ගිනි පුළිඟු මතුවෙලා මැවුණු ඒ ගින්න මහා විශාලෙට පැතිරෙන්න ගියේ ටික කාලයයි. කටින් කට කණින් කණ ගින්න පැතිරිලා සමන්තගේ බිරිඳගේ කණට ගියා.
-------------------------------------------
ඇය මුළින් සමන්තගෙන් ඇහුවේ නෑ. 
කෑමක් උගුරෙන් පහළට නොයන නිසා කුසෙන් නැගෙන ගින්නයි ඇහුණු ආරංචිය නිසා පපුව මැද නැගෙන ගින්නයි එකතු වෙලා බුර බුරා ගිනි වතුර වගේ ඇස්වලින් එළියට ඇවිත් පොඩි එකාට රෑ තිස්සේ කිරි පොවනකොට නාමලීගේ කම්මුල් දිගේ පහළට වැටුණා. ගින්දර වගේ කඳුළු චූටි පුතාගේ සිනිදු කෙස් අතරින් මූණටත් වැටුණා. 
අම්මා අඬන බව නොතේරුණු කිරි කැටියා ඇස් අයාගෙන බැලුවා. “අම් අම්” කියලා සිඟිති අතින් මූණේ කඳුළු අල්ලලා බලද්දි පුතාව ඇඟට තද කරගෙන නාමලී හයියෙන් අඬන්න ගත්තා.
-------------------------
එහා කාමරේ උසස් පෙළට පාඩම් කරපු සමන්තිගෙ නංගි, චාමලී පාඩම නවත්තලා අක්කා හඬන හඬ අහගෙන හිටියා. මස්සිනාගේ වෙනසත් අක්කාගේ මූණේ ඇවුළුණු ගින්නත් ඇයට තේරුම් ගන්න අමාරු උනේ නෑ. ඒත් කතා කරන්න බැරි කමක් තිබුණා අක්කා එක්ක. අම්මා තාත්තා නැති තමන්ට එකම හයිය මස්සිනා විතරයි. 
“අක්කෙ යමු” කියලා යන්න තැනක් නැති ගින්නෙන් චාමිලී පිළිස්සුණා. 
තමන්ගේ අක්කට හොරෙන් වෙන ගෑණියෙක් ඇසුරු කරන මිනිහෙක් ගේන කෑම කන වාරයක් ගානේ චාමලී ඇතුළෙන් දැවුණා.
----------------------------------------
නාමලීගේ කඳුළු, සුසුම්වලින් සමන්තගේ ගින්න නිවුණේ නෑ. අන්තිමට හිත හයිය කරගෙන නාමලී එළියට බැස්සේ නංගිගෙ විභාගෙ ඉවර උනාට පස්සෙ සතියෙ. නංගි ගාමන්ට් යන්න ලෑස්තියි. පොඩ්ඩා ටිකක් ලොකු උනාම තමන්ටත් ඒක කළෑකි. හොද උළු ගෙදරින් ටකරං වහපු තනි කාමරේට ඇවිත් දවල් ගින්නෙන් දැවෙද්දි නාමලී හයියෙන් ඇඩුවා. චම්පාට හෙණ ඉල්ලුවා. 
ඒත් චම්පාගේ ගිනි සිසිල මන්තරෙන් මත් වෙලා හිටපු සමන්ත ආපහු හැරුණේ තවත් අවුරුදු ගාණකට පස්සේ චම්පාගේ ගින්දර ඇස්දෙකට තවත් නාඹර, හැඩි දැඩි ගෝණෙක් දැපනේ වැටුණට පස්සේ. හි‌තේ ගින්දර නිවාගන්න සමන්ත ගිනි වතුර බිව්වා. නමුත් රෑට නොකන හිස් කුසට වැටුණු ඒවායෙනුත් ගින්දර වැඩි උනා මිසක් අඩු උනේ නෑ.
----------------------------------------
නාමලී ඇවිලි ඇවිලි දවස ගෙව්වා. තමන්ගේ මිනිහට තමන් මදි උනාට වැඩිය ගින්නක් ගෑණියෙකුට නෑ. දරුවෙක්ව ඒ දරුවගේ අප්ප නැතිව ලොකු කරනවා තරං ගින්නක් නෑ. මාස ගනං අවුරුදු ගණං ගිහින් පුතා ලොකු උනත්, කරදර අඩු උනත්, තනිය මැද්දේ ඒ දුක ඇවිලි ඇවිලි තිබුණා.
නංගි ඒ වෙනකොට ගාමන්ට් එකේ ලයින් සුපවයිසර් කෙනෙක්. දාහකින් හොයාගන්න බැරි හොඳ කොල්ලෙක් ඒකෙන්ම හොයාගෙන. 
“උඹට නං මට වගේ වෙන එකක් නෑ. නයන මල්ලි හාමුදුරු කෙනෙක් වගේ” නාමලී කිව්වේ ඇත්තටමයි.
අක්කා සාරි හැට්ට මහලා එක විදිහකට එනකං චාමලී බැන්දෙ නෑ. පොඩි කාලෙ ඉදන් අම්මෙක් වගේ බලා ගත්තෙ අක්කා කියන ගුණේ තිබ්බා. බැඳලාත් ගියේ ඈතකට නෙවෙයි.
---------------------------------
චාමලීගේ සැමියා නයන දැවුණේ චාමලීගේ සැකය නිසා. කවදාවත් වරදක් නොකරන තමන් ගෑණියෙක් ඉන්න පැත්තට හැරුණත්, වැඩට ගියත් චාමලී ගිනි පත්තු කරගෙන දඟලන්නෙ ඇයි කියලා ඔහුට තේරුණේ නෑ. 
චාමලී දරුවා ලැබෙද්දි ඔක්කොටම අන්ත උනා.
“වෙන ගෑණුන්ට කෑම කන්න දොළ දුක. මේකිට නං දොළ දුක හැදිලා තියෙන්නෙ මේ කොල්ලා මරාගෙන කන්නද කොහෙද?” බඩදරු බව දැනගත්ත දවසේ ඉදන් දවස ගානේ පොළොස් ඇඹුල්, අගුණ කොළ සම්බෝල හදාගෙන එළකිරි බෝතල්, තැඹිලි වතුර බෝතල් අරන් ගාමන්ට් එක ළගට ලේලි බලන්න ආව නැන්දම්මා දවසක් ආපහු ගියේ මූණටම එහෙම කියලා. සෙනග මැද්දේ උනත් පුතාට කතා කරන්නේ බලු බැණුම් වලින්. වල් වනචරයෙකුට වගේ. 
කොල්ල කාලෙවත් කෙල්ලෙකුට අහිතකින් වචනයක් වත් කියලා නැති කොල්ලා.
“සමන්තයියත් වෙනස් උනේ අක්කට ළමයා හම්බුණාම, මටත් එහෙමම වෙයි. නයනත් කාට හරි පැටලෙයි“
යොවුන් වියේ කාටවත් කියාගන්න බැරි ගින්නෙන් ඇතිවුණ අළු පැල්ලමෙන් මතුවුණූ වචන චාමලීගේ හදවත යට තිබිලා නිතර දුම් පිට කර කර නයනව පිච්චුවේ අනුකම්පාවක් නැතුව.
--------------------------------
“ජිවිතෙත් එක්ක එපා වෙනවා අක්කෙ” තරුෂි කඳුළු පුරවගෙන නෑනට කිව්වේ දවසක්ම අඬ අඬ ඉදලා. ඇන්දත් නෑන්දත් චතුරට වැරදි. කටින් එන වචන ගින්දර වගේ. මනුස්සයෙක්ට අහන්න බැරි කතා කියන්නේ මොන වරදක් කළාටද?
යාලු උන කාලෙත් ඔහොම උනාට බැන්දම හරියයි කියලා හිතුවේ. දැන් ඔක්කොටම හපන්. කොයි වෙලේ ඇවිලෙයිද කියලා පිච්චි පිච්චි ඉන්නේ නැතුව ගඟකට මූදකට හරි පනින්න හිතුවේ සැරයක් දෙකක් නෙවෙයි.
නැත්නම් වෙන වරදක් නෑ. තාත්තා දාලා ගියාම අම්මායි පුංචියි මොන දුක විඳලා හරි හොදට උගන්නලා. කැම්පස් එකේදි යාලු උන නිසායි තරුෂිගේ අම්මලත් කැමති උනේ. අනික චතුරගේ අම්මා තනියම උනත් හොඳට පුතාව හදලා තියෙනවා.
------------------------
චතුර පිඹගෙන සෑහෙන දුරක් ගිහින් මෝටර් සයිකලේ නැවැත්තුවා කුඹුරක් ළඟ. තරුෂිගේ බය වෙච්ච මූණ මඟ දිගට මතක් වෙනවා. ඒ වෙලාවට තමන්ට මොනව වෙනවද කියලා මතක නෑ. තරුෂිගේ බෙල්ල අහුඋනොත් එක පාරින් මිරිකලා මරන්න උනත් පුළුවන්.
චතුර සුසුම් හෙළ හෙළ කොණඩෙ අස්සෙන් ඇඟිලි යැව්වා. තරුෂිට හොරෙන් ගිහින් උපදේශනය ගත්තා, මනෝ වෛද්‍යවරු හම්බුණා. ඒත් මේ ගින්න නිවෙන්නේ නෑ.
අහක යන වල් ගෑණියෙක් තාත්තගෙ ඇස්වලට තියපු තියපු ගින්දර තමන්ගේ අම්මගේ ඇස්වලින් දියවෙලා වැටෙද්දි ඒ ලෝදිය තමන්ගේ ඇඟටත් හිතටත් වැටිලා ලාවා වගේ හදවතේ තැන්පත් උන බවත් දැන් ඒවා දිය වෙවී උඩට එන බවත් ඔහු කවදාවත් දැනගත්තෙත් නෑ.‍

Nissanka Rajapaksa

unread,
Oct 5, 2024, 7:57:14 PM10/5/24
to INDRAKA group
38

නාඳුනන උණ්ඩය


නන්දිකා හේමාලි ලියනගමගේ කුරුණෑගල
(දිනමිණ පත්තරෙන්)

පෙර දින නිදාගෙන ඇත්තේ ජනේලය නොවසාම බව මට සිහි විය. දවස පටන් ගන්නට හිත එකලාසයක් තවම නැත. පසෙකින් සරත්ට තුරුලු වී දුව දිනායා තවමත් සුව නින්දකය. අලසකර ගත වෑයමින් පිබිදුණු මම හෙමින් සීරුවේ කුස්සියට ඇදුණෙමි. කුස්සිය දුටු විට හෝන්දු මාන්දු ගතිය තවත් වැඩිය. හෝදන ලද වළං පිඟන් හැම තැනය. කුස්සිය අස්කිරීම පසෙකින් තැබූ මම කුස්සිය පැත්තෙන් මිදුලට බැස ගතිමි.

වේළුණු ගොක් කොළ මිදුලේ තැනින් තැනය. මිදුල පුරා තැන තැන විසිර තිබූ පුටු එක් තැනකට ගොඩ ගැසුවෙමි. වෙනදා මිදුල අතු ගාන්නේ තාත්තාය. තාත්තා මිදුල අතුගානු මට මැවී පෙනුණි. දෙනෙතට ඉනූ කඳුළු ටිකින් ටික එකතු වී කඩා හැලෙන්නට විය. පිටි අල්ලෙන් කඳුළු කැට පිස දමමින් යන්තමට මිදුල අතු ගා ඉවර කළෙමි. වෙනදා වැඩ කරන පිළිවෙළට නොව අද පාන්දරින්ම නා ගන්නට සිතුණි. නාන කාමරයට වැදුණු මා ඇඳ සිටි ඇඳුම් පිටින්ම වතුර මල යට සිටගෙන ඔහේ සිටියෙමි. හිසේ සිට ඇඟ පුරා වතුර ගලා යනු දැනේ. ගලා හැලෙන ජලයෙන් සියලු දුක් සංකා හේදි යතැයි මම හිත රවටා ගතිමි.

කෙසේ හෝ නෑමෙන් පසු ගතට සිතට තරමක සැහැල්ලුවක් දැනුණි. හිත එකලාසයක් කරගෙන නිවෙස තුළ ටික ටික අස් කරන්නට පටන් ගතිමි. ඊයේ පෙරේදා වන තුරු නිවෙස පුරා සිටි නෑ පිරිස සියල්ලෝම නිවෙස් කරා ගොස්ය. නිවෙස තුළ වූයේ පාළු මූසල පාටකි.

දිනායා අවදිව සරත් සමඟ කුස්සියට ආවාය. වෙනදා නම් දිනායා ඇහැරී ඇඳේ සිටම කිරි එක ඉල්ලා කෑගසයි. ඇයව ඇඳෙන් වඩාගෙන කුස්සියට රැගෙන එන්නේ තාත්තාය. මම ඇය වඩා ගෙන මුහුණ සිඹ කුස්සියේ පුටුව මත තැබුවෙමි.

තේ බීමෙන් අනතුරුව මම නිවෙස අස්කරන්නට පටන් ගතිමි. බිත්ති අල්මාරිය තුළ තාත්තා ලද සමරු ඵලක හා පදක්කම් දෙස බලා සිටියෙමි. ඉන් කිහිපයක් තාත්තාගේ මරණයෙන් අනතුරුව ලද ඒවාය. තාත්තා මිය යාමට මාසයකට පමණ පෙර කුරුණෑගල පොලිසියේදි පැවැත්වූ උපහාර උත්සවයකට අපි ද සහභාගි වුණෙමු. ආරක්ෂක ඇමැතිතුමා මෙන්ම පොලිස්පතිතුමා ද විශේෂ කතා පැවැත්වූ අතර තාත්තාගේ සේවය ඉතා ඉහළින් ඇගැයීය.

“තාත්තා ගෙනා ආයුෂ ඉවරයි දිනූ. එයා දැන් හොඳ තැනක ඇති”

සරත් මා ළඟට විත් පැවසීය.

මම යන්තමට සිනාසීමි.

දුරකතනය නාද වන්නට වූයෙන් මම දුරකතනය අසලට ගියෙමි.

“හෙලෝ”

“මේ දිනූෂා නේද?”

“ඔව්. කවුද මේ කතා කරන්නේ?”

“දිනූ, මම හංසි, අඳුරගන්න පුළුවන්ද?

සිහින් හඬකින් ඇය කීවාය. මගේ හිත වේගයෙන් අතීතයට දිව යන්නට විය. ඇය මගේ පාසල් සමයේ හොඳම යෙහෙළිය විය. මේ කතා කළේ වසර දහයකින් පමණ පසුවය.

“ගෙදර නම්බර් එක අමාරුවෙන් හොයා ගත්තේ. හැමදේම ආරංචි වුණා දිනූ”

ඇය කීවාය.

“තාත්තා අපිව දාලා ගියා කෙල්ලේ”

මම යන්තමින් කියා ගතිමි.

“අඬන්නෙපා කෙල්ලේ. මම මේ නුවර ඉඳන් කතා කරන්නේ. දැන් එන්න ලෑස්ති වෙලා ඉන්නේ. පැය දෙක තුනකිත් එන්නම්.”

ඇගේ විස්තර අසා දැනගන්නට මට සිහියක් නොවීය. මට ඉබේටම ඉකිගසා හැඬෙන්නට විය. සරත් මගේ අතින් රිසීවරය ගෙන නිවෙසට එන පාර කියනු මට යන්තමට ඇසුණි.

“අඬන්න එපා අම්මේ. චන්දන මාමා කිව්වා අපේ සීයා වීරයෙක් කියලා. වීරයෙක් මැරුණම අඬන්න හොඳ නෑ.”

මා අසලට පැමිණි දිනායා මහ ගැහැනියක මෙන් කීවාය. මම ඇගේ මුහුණ බලාගෙන කඳුළු අතරින් සිනාසීමී.

ඇය කියනවා සේම තාත්තා වීරයෙකි. පසුගිය සතියේ සෑම පත්තරයකම පාහේ පිටුවක් දෙකක් තාත්තා වෙනුවෙන් වෙන් කර තිබුණි. කුරුණෑගල පොලිසියේ වසර ගණනක් සේවය කළ තාත්තා විශ්‍රාම යන්නට තිබුණේ තව වසර දෙකක් පමණි. පාතාල කණ්ඩායමක නායකයෙකු වූ රතු අමිල කුරුණෑගලට පැමිණ ඇතැයි ලැබුණු තොරතුරකට අනුව තාත්තා ඇතුළු තවත් කිහිපදෙනෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ රතු අමිලගේ ගිනි අවිය තාත්තාගේ ජීවිතය උදුරාගෙන තිබුණි. රතු අමිල ඇතුළු ඔහුගේ සගයන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර පොලිසියේ කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබුණි.

“දවල්ට උයන්න ඕනේ නෑ දිනූ, මං කඩෙන් ගේන්නම්”

තිදෙනාටම උදේ කෑම සිහියක් නොවූ නිසාදෝ සරත් පැවසීය.

“මගේ යාළුවත් එන නිසා මං උයන්නම්. දරුවටත් කවන්න ඕනනේ"

“කමක් නෑ අදටත් ඔන්න ඔහේ කඩෙන් කමු”

සරත්ද තාත්තාගේ මරණින් පසු බොහෝ සෙයින් නිහඬ පුද්ගලයෙකුව සිටියි. තාත්තාද, සරත්ද ඉතා සමඟියෙන් සහයෝගයෙන් ජීවත් වූ දෙදෙනෙකි. තාත්තාගේ මරණය ඔහුටද මහත් සන්තාපයක් ගෙන දුන් බව ඔහුගේ හැසිරීමෙන්ම පෙනේ.

වසර ගණනකින් හමු වී නොතිබුණද හංසි මාගේ මතකයන් අතර නිරතුරුව රැඳි චරිතයකි. උසස් පෙළ විභාගයෙන් පසු තාත්තාගේ ස්ථාන මාරුව හේතුවෙන් අපි ගාල්ලේ සිට කුරුණෑගල පදිංචියට පැමිණි අතර වසර දෙක තුනකින් දෙමාපියන්ගේ අකමැත්ත මැද හංසි “අපේ අමී” සමඟ විවාහ වී නිවෙස හැර ගොස් තිබුණි. පසුව ඇය විදේශගත වූ බව අසන්නට ලැබුණි.

හංසි පවුලේ එකම දරුවාය. ඇගේ ආදර කතාව ආරම්භ වී තිබුණේ සාමාන්‍ය පෙළින් අනතුරුවය. සාමාන්‍ය පෙළින් පසු උසස් පෙළ පන්ති පටන් ගත්ත දිනවල ඇය ඇගේ ආදරය ගැන පසුවූයේ උමතුවෙනි. ඇය නිතරම ඔහු ගැන දෙඩෙව්වාය. ඇගේ කටින් වචන පහක් පිට වූවොත් වචන හතරක් “අපේ අමී’’ ගැනය.

“අපේ අමී අද උදෙන්ම කතා කළා”

“අපේ අමී නේවි එකට යන්න හදන්නේ”

“අපේ අමී පරිප්පු තමයි කන්න ආසම”

ඔහු දැක නොතිබුණද ඔහුව ඇමතුවේ අපේ අමී නමිනි. විටෙක ඇයට උමතුවක් වත් හැදීගෙන එනවාදැයි මට සිතිණි. ඇය එතරම්ම ඔහුට ආදරය කරනු මට දැනිණි.

සමහර විට මම ඇයට සරදම් කළෙමි.

“අපේ කියන්නේ කාගේ කාගෙද? ඔන්න අපේ නම් නෙමේ.”

ඒත් ඇයගේ කතාවේ වෙනසක් නොවීය. සුපුරුදු පරිදි ඇය ඔහුව අපට හඳුන්වා දුන්නේ ඒ නමිනි.

දෙමාපියන් “අපේ අමී’’ ට අකැමැති බවත් එහෙත් කවදාවත් ඔහුව අමතක නොකරන බවත් ඇය මට පවසා තිබුණි. දිනක් උසස් පෙළ විභාග දිනවල “අපේ අමී’’ දැක්කා මතකය. ඔහු හංසිට ගැළපෙනවා යැයි දුටු විටම මට සිතුණි. ඔහුගේ ලස්සන දුටු මට හංසි ඔහුට මෙතරම් උමතු වීම පුදුම නොවේ යැයි සිතිණි. පැහැපත් සුදු පැහැ සමකින් යුක්ත වූ ඔහු කඩවසම්ය. මා සමඟද සුහදව සිනාසුණ ඔහු හංසි සමඟ යන්තමට කතා කර හංසිගේ මවුපියන් පැමිණීමට පෙර වහා අතුරුදන් විය.

දහවල් 11.00ට පමණ ගේට්ටුව සෙලවෙන හඬින් මම නිවෙස ඉදිරියට ආවෙමි. සරත්ද දිනායාද මා පිටුපසම ඉදිරියට පැමිණියහ. ලොකු බඩක් ඔසවා ගත් අසරණ පෙනුමකින් යුක්ත ගැහැනිය හංසි බව හඳුනාගැනීමට මට පහසු නොවීය. බොහෝ දුක් ගැහැට විඳි පෙනුමක් ඇගේ මුහුණෙහි විය. මුහුණ දුර්වර්ණ පැහැයක් ගෙන තිබුණි. පාසල් සමයේ සිටි සරල කෙළිලොල් හංසිමද යැයි මට නිකමට සිතුණි.

ඇය අඬාගෙනම මාගේ දෑතේ එල්ලුණාය. සරත්ගේද දිනායාගේද මුහුණු කුහුලෙන් බරව තිබුණි. හංසි ඒ දිනවලද තාත්තා සමඟ බොහෝ සෙයින් මිතුරුය. සමහර දිනෙක තාත්තා බයිසිකලයෙන් අප දෙදෙනාම පන්ති රැගෙන යන්නේය. හංසි බොහෝ වෙහෙසට පත්ව සිටින බවක් පෙනුණි. ඇගේ කකුල් බෙර කොටන් මෙන් ඉදිමී තිබුණි. පෙර නියපොතු ලස්සනට වවා ඇඳුමේ පැහැයෙන් හැඩ කර තිබූ කකුලේ නිය දුර්වර්ණව තිබුණි. ඇය සිටිනා තත්ත්වය අනුව මෙලෙස දුර ගමන් තනිව නොආ යුතුව තිබුණි.

පැමිණි විගස ඒ බව පැවසීම නුසුදුසු නිසාවෙන් ඒ බව පැවසීම මම පසුවට කල් තැබුවෙමි.

“පත්තරෙන් ඔක්කොම විස්තර දැනගත්තා කෙල්ලේ ”ඇය හතිලමින් කිවුවාය.

“එදා උදෙත් දුවව වඩන් ඉඳලා මොන්ටිසෝරියටත් ඇරලලා වැඩට ගියේ. දවල්ට දුවව මට ගන්න කිවුවා. ලොකු වැඩකට යන්නේ, එන වෙලාවක් කියන්න බැරි වෙයි කියලා. බෝධිසත්වයා වගේ හිටිය මනුස්සයට ඒ කාලකණ්ණියා කොහොම වෙඩි තිවුවද මන්දා” ගලා එන කඳුළු පිසදමමින් මම කිවුවෙමි.

“දෝණිට සාංකාව වගේ. දුව එක්කමයි තාත්තා හිටියේ”

සරත්ද දිනායාගේ ඔළුව අතගාන අතරතුරේ කීවේය.

“තාත්තා කොහොමත් ළමයින්ට එකතුනේ. අපටත් කොච්චර ආදරේද?”

හංසි හඬමින් කීවාය.

වසර දහයකට පමණ පසුව පැමිණ හඬන ගැහැනිය දෙස සරත් විමතියෙන් බලා සිටියේය. නමුත් හංසිව මට තේරුම් ගත හැකිය. තාත්තාද හංසිට බෙහෙවින් ආදරය කළා මට මතකය. හංසිගේ දෙමාපියන්ද මට එසේමය.

“දිනූ මොනවා හරි බොන්න හදන් එන්න”

ඇත්තටම මට එය පවා අමතක විය. ඇය ඉන්නේ බොහෝ වෙහෙසකරවය. හංසි කෘතඥ පූර්වකව සරත් දෙස බැලුවාය. මම ඉක්මනට සිසිල් බීම වීදුරුවක් පිළියෙල කර සාලයට පැමිණියෙමි. මම එනවිට හංසි තාත්තාගේ රාමු කළ ඡායාරූපය දෙස හඬමින් බලා සිටියාය.

“අපේ අමී කෝ” මම ඇසුවෙමි.

ඇය ඊට උත්තර නොදුන්නාය.

“දැන් මාස කීයද?”

මම ඇයගේ කුස දෙස බලා විමසුවෙමි.

“දැන් මාස හතත් ඉවරයි”

ඇය අසරණව කීවාය.

කතා කර ගැනීමට අපහසු හෙයින්දෝ ඇය දිනායාට අතින් කතා කළාය. දිනායා හෙමින් හෙමින් හංසි ළඟට ආවාය.

“මගේ දූත් මේ වයසේ. මේ දෙවැනියා.”

ඇය තවමත් ඉකි ගසනවාය. සරත්ද විමතියෙන් බලා සිටියි. දිනායාද තැතිගත් මුවින් සිටියි.

“කෝ දැන් දුව”

“අම්මත් එක්ක ගෙදර. අපි දැන් ඉන්නේ නුවර”

“ඇයි හංසි ඔයා තනියම මෙච්චර දුර ගමනක් ආවේ, අමී කෝ”

මම ඇයගෙන් නැවතත් ඇසුවෙමි. ඇය අසරණව සිනාසුනාය.

“අමී මැරුණා කෙල්ලේ”

ඇය සුසුමක් හෙළා කීවාය.

“මොකක්”

මම පුදුමයෙන් හංසි ළඟට ආවෙමි.

“ඔව් දිනූ, ඒ දවස්වල අම්මලා කියන දේවල් ගණන් ගත්තේ නෑ. අමි නේවි එකෙන් අයින් වුණා. අවුරුද්දක් හිරෙත් හිටියා. එහෙදි තමයි ඔය අපරාධකාරයෝ අඳුරගෙන පාතාලෙට එකතු වෙලා තියෙන්නේ. හැමදේම තේරෙන කොට පරක්කු වැඩියි. මටත් බැඳ ගත්ත බෙරේ ගහන්නම වුණා.”

ඇය හයියෙන් හුස්මක් ගත්තාය. ඒත් මට ඉහළට ගත් හුස්ම පහළට හෙළන්නට අමතක විය.

“පොලිසියෙන් හොයද්දි අන්තිමට අපි රට ගියා. ළඟදී ආවේ. නුවර ගෙයක් අරන් හැංගිලා හිටියේ, ඇවිත් මාස හතරයි තාම”

මට හංසි ගැන දුක සිතුණි.

“අමී මැරුණට පස්සේ තමයි සේරම ආරංචි වුණේ. හැමතැනම ගෑනු ඉඳලා. හොරකම් කරලා, මිනී මරලා ඒ ගෑනු නඩත්තු කරලා. අන්තිමට මට හැමදේම නැති වුණා. මේ නොදරුවන්ගේ ජීවිතත් කාලකණ්ණි වුණා”

“අනේ..”

මම දුකින් ඇගේ හිස අත ගෑවෙමි

“මට අමී ගැන දුකක් නෑ දිනු”

ඇය කීවාය.

“මට දුක අන්කල් ගැන”

ඇය හුන් තැනින් අමාරුවෙන් නැඟිටිමින් කීවාය.

“මට සමාවෙන්න දිනූ”

හංසි මා බදාගෙන ඉකි බිඳින්නට විය

මම පුදුමයෙන් ඇය දෙස බැලුවෙමි.

“අමී තමයි අන්කල්ට වෙඩි තියලා තියෙන්නේ ”

“මොකා…ක් !”

මම ඇයව ඈත් කර විමසුවෙමි.

“එතකොට රතු අමිල කියන්නේ ……………..”

ඇය ඔළුව වනමින් හඬාවැටෙද්දි අවට සියලු දේ වේගයෙන් කැරකෙනවා මෙන් මට පෙනුණි. සරත් ද දිනායා ද මා ළඟට දුව ගෙන එනු යන්තමට මතකය. මම සරත්ගේද දිනායාගේද උදවුවෙන් අසල පුටුවට බර වුණෙමි.


https://www.dinamina.lk/2024/10/03/featured/129006/129006/?fbclid=IwY2xjawFuPT5leHRuA2FlbQIxMQABHbmsFmfar-dmqZ9K90S-udJDiNeEqb4_4N69XF8d6ClRKnODNFYmQomrBg_aem_BRwYeCdehbqH2Y-7gni7iw&mibextid=NOb6eG

Nissanka Rajapaksa

unread,
Oct 6, 2024, 10:22:02 PM10/6/24
to INDRAKA group
39

හයේ කණුවෙ ඉඩම…….

- බදුර්නිශා අබ්දුල් අසීස්

(දිනමිණ පත්තරෙන්)

තූරල්වෙමින් තිබූ වැස්සෙම අක්කා ගෙට ගොඩවුණේ ටිමියට බැණගෙන.

“පලයන් යන්න මෙතන ලැගල ඉන්නැතුව…. පර බල්ලා”

කියපු දේවල් නම් ඇත්ත. ටිමිය මෙහේ ලැග්ගට උගෙ අයිතිය තිබ්බෙ එහා ගෙදර අයට. ඒත් ඉතින් සත්තුන්ට තේරෙනවයැ ඔය අයිතිවාසිකම්.

කොස් ඇට අග්ගලාවෙ ලුණු මදිපාඩු කියමින් අග්ගලා දෙකතුනකට වගකියන ගමන් අක්කා පටන් ගත්තෙ සුපුරුදු මාතෘකාව. ”මං යනව අද හෙටම අරකි හම්බෙන්න… ගිහින් ඉල්ලනව මගේ කොටහ"

“අරකි කිව්වෙ?” මං ඇහුවෙ නොදන්න ගානට

“ඇයි තාත්තව හූරන් කාපු එකී”

දැන්නම් මේ කතාවෙන් ලිස්සල යනව බොරු.

“කන්න අඳින්න අඩුවකුත් නැතුව මොනාට හොයන් යනවද ඔය මනුස්සයාගෙ වගතුග, ඉන්න තැනක පාඩුවෙ ඉන්න දෙනව මිසක, ඔයින් අර මැරිච්ච තාත්තටත් පව් රැස් වෙනවා.”

“අනේ උඹට එපා නං හිටහං”

කිව්වත් වගේ මං කටවහගත්තා. කියන ගානට උත්තර බඳින්න ගියොත් ඔය කතා බහ ඉවර නොවෙන වග මං අත්දැකීමෙන් දැනන් හිටියා.

අක්කා ඔය හොයන් යන්න හදන්නේ තාත්තාගෙ සම්බන්ධයක් තිබුණා කියන ගෑනු කෙනෙක්. ඒ සම්බන්ධතාවය මොනවගේ පදනමකද කියන්න තරම් මට වැටහීමක් නොතිබුණත්, ඒ ගැහැනු කෙනා ගැන මගේ හිතේ තිබුණෙ අප්‍රසාදයක්. මට හිතුනෙම අපේ ආදරේ කොටසක් හොරාගන්න ආපු හැතිරියක් විදිහට.

අම්මා නිතරම ඒ ගැන ආඩපාලි කියන්න ගත්තම තාත්ත නෙවෙයි වචනයක්වත් කිව්වෙ. මොකුත්ම නොකියද්දි අම්ම තවත් කේන්ති ගත්ත මට මතකයි. එහෙම දවසක තමයි තාත්තා ගෙදරින් එළියට බැහැල ගියේ.

ගමේ අය අහන දේවල්වලට උත්තර දෙන්න වෙන හින්දා ඉන් පස්සෙ අම්මා ගෙදරින් එළියට යන ගමන් අඩුවුණා. බෙහෙතක් හේතක් ගන්න මිසක අම්මා ගෙයින් එළියට ගියේම නැති තරම්.

ඒත්, අපෙන්, ඒ කිව්වෙ අක්කගෙන් සහ මගෙන් වටින් ගොඩින් තාත්තා ගැන අහපු, අපි නැති තැන තම රස පදමට ලුණු ඇඹුල් ඇතිව කතා ගොතපු ඈයො ඕන තරම් හිටිය.

කාලයත් එක්ක ඕවට හුරුවුණා වගේම ඒ කතා කියන අය ගැන බොහොම ඇල්මැරුණු ප්‍රතිචාර දක්වන්නත් මං පුරුදු වුණා. “අනේ කියන එකෙක් ඕන දෙයක් කියා ගත්තාවෙ” කියලයි මගේ හිත මට කිව්වෙ. අනික ඕව ගැන හිත හිත හගිස්සනවට වඩා මට මගේ මානසික නිදහස වැදගත් වුණා.

ඒත් අක්කා ඒ ගැන දැරුවෙ බොහොම ආවේගශීලී අදහසක්, කොහොමත් අපි දෙන්නගෙ සිතුම් පැතුම් පරස්පරයි. කතා කියන අය එක්ක රණ්ඩු වෙන්න වගේම ඒ ගෙවල්වලට ගිහින් බැණල එන්නත් අක්කා දෙපාරක් හිතුවෙ නෑ. එහෙම දවසක තාත්තට වගේම අම්මටත් අක්කා දොස් කිව්වෙ තාත්තට බුරුල දුන්නා වැඩියි කියලා. ඒත් අම්මා නෙවෙයි ඒ කිසි දේකට උත්තර දුන්නෙ. එයා සුපුරුදු නිහඬ ව්‍රතයෙම හිටියා.

ඔය අතරෙ දවසක ආරංචියක් ආව තාත්තා හදිසියේ අසනීප වෙලා මහ ඉස්පිරිතාලේ නවත්තලා කියලා. මොන වැරදි අඩුපාඩු තිබුණත් ඒ වෙලාවෙ අපි කාටත් වුවමනා වුණේ පුළුවන් ඉක්මනින් තාත්තා ළඟට යන්න. ඒ පණිවුඩය ලැබුණෙ දවල් කෑම වෙලාවට වගේ මට මතක අක්කයි මමයි කතා වුණේ හවස ලෙඩ්ඩු බලන වෙලාවට තාත්තා බලන්න යන්න.

උණුවතුර බෝතලේට තේකකුත් දාගෙන අපි දෙන්න ඉස්පිරිතාලෙට ගියා නෙවෙයි දිව්ව.

අපිව දැක්කම තාත්ත ළඟ මොනවද කිය කිය හිටපු අර ගෑනි කරන්ට් වැදිච්ච ගානට අයින් වුණා. තාත්තාගෙ එක කකුලක් දණිස්ස ගාවටම බැන්ඩේජ් කරල. ඒත් මූණෙ තිබුණෙ වේදනාවක් නම් නෙවෙයි, මට හිතුනෙ ඒක අසරණ කම එක්ක මුහුවෙච්ච ලැජ්ජාවක් කියලයි.

“පුතේ….” තාත්තා කතා කළේ අමාරුවෙන්. කොහොමත් තාත්ත පොඩි අක්කට දුවේ කියල කතා කරන්නෑ පුතා කියනව මිසක්. වචනයක් කතා නොකරත් අක්ක තාත්තට කවන පොවන දේ පවා කළා. ඒ හැම වතාවකම අර ගෑනු කෙනා ඈතට වෙලා බලන් හිටියා.

අපි නොගිය හැමදාමත් එයා තාත්තට සාත්තු සප්පායම් කරපු බව අවට ඇඳන්වල කට්ටිය මට කිව්ව. මට ඒ ගෑනු කෙනා (නම සමදරා බව තාත්තා වරක් කිව්ව) ගැන තිබුණු නොරිස්සුම ටිකින් ටික අඩුවෙලා යනව වගේ දැනුණා. මාසයකට ආසන්න කාලයක් තාත්තට ඉස්පිරිතාලේ ඉන්න වුණා. ඒත් අපිට හැමදාම බලන්න යන්න නම් බැරි වුණා.

තාත්තා සනීපවුණාට පස්සෙ අපේ ගෙදර එයි කියල මං හිතාගෙන හිටියත් තාත්ත ආයෙමත් ගියේ අර ගෑනු කෙනා ගාවටමයි. සමහර විට තාත්තට එතන සැනසීමක් තියෙන්න ඇති.

මට සතුට සැනසීම කියල දැනුනෙ හොඳ පරිවර්තන පොතක් එක්ක ලොකු කැෂූ නට් එකක් රස බලන එක නැත්තං මගේ යාළුවෝ සෙට් එකත් එක්ක ට්‍රිප් එකක් එක එහෙමත් නැත්තං මගේ හොඳම යාළුවත් එක්ක වැහි වැටෙන හැන්දෑවක කෝපි එකක් බොන එක වගේ දෙයක් සමහර වෙලාවට සැනසීම කියල මං හිතන දේ ඇත්තම සැනසීම නොවෙන්න ඇති. මං පුරුදු වෙලා ඉන්නෙ පුංචිම දේවල්වලින් සතුටු වෙන්න. හැබැයි ඒ වගේම පුංචිම දේවල්වලින් හිතට දුක පුරවගන්නත් මං හරිම දක්ෂයි. තාත්තට වුණත් එයාගෙ සතුට සැනසීම තිබුණෙ අපි අතරෙ නොවෙන්න ඇති. පුංචි කාලෙ ඉඳලම තාත්ත ගැන මගේ හිතේ තිබුණෙ ලොකු ගෞරවයක් මුසුවුණ ආදරයක් ඒක ඇතුළෙ බය කියන වචනෙට ඉඩක් තිබුණෙම නැහැ.

මට මතකයි ඉස්කෝලෙදි වෙන සමහර සිදුවීම් මං කිව්වෙ තාත්තා එක්ක අම්ම එක්ක කිසි දෙයක් කියන්න බෑ අම්මා ඉක්මනින් කලබල වෙන හදිසි තීරණ ගන්න කෙනෙක්. උසස් පෙළ පන්තිවලදි මට පිරිමි ළමයෙක් ලියුමක් දුන්න කියල අම්මා නටපු තොවිලෙ මට තාම මතකයි. ඒකට වැඩිපුරම පොහොර දැම්මෙ පොඩි අක්කා එයාට කොහොමත් මගෙත් එක්ක ලොකු තරඟයක් තිබ්බා. එයාට නොලැබුණ යමක් මට ලැබෙනවාට එයා කොහොමටවත් කැමති වුණේ නෑ. සමහර වෙලාවට මගේ හිත තේරුම්ගත්ත එකම හිතෛෂිවන්තයා තාත්තා වෙන්න ඇති කියල මට දැන් හිතෙනවා. තාත්ත ගෙදරින් නොගිය නම් අදටත් මගේ හොඳම යාළුවා තාත්තා. ඒකටත් එක්ක අර සමදරා කියන ගෑනි තාත්තව රවට්ටගත්තෙ නැත්තං අදටත් අපි කොච්චර ලස්සන පවුලක්ද ?

මං කල්පනා ලෝකෙන් බිමට වැටුණෙ දොරේ බෙල් එක වදින හඬින්.

“පොඩ්ඩි බලනවා කවුද කියලා..”

“හරි හරි මං බලන්නම්” අක්කටත් ගස්සගෙන මං සාලෙ දිහාට ගියේ මේ වෙලාවෙ කවුද එන්නෙ කියල හිතෙන් මුමුනන ගමන්.

ඇවිත් හිටියෙ කුරියර් සර්විස් එකකින් මගේ නමට තිබුණ ලොකු ලියුම් කවරයක් භාර දීලා අත්සන් අරන් ඒ මනුස්සයා ගියාට පස්සෙ මං ලියුම් කවරය විවෘත කළේ ලොකු කුතුහලයකින්.

ආදරණීය පොඩ්ඩි,

මේ ලිපිය දකිද්දි මං ඔයාලා අතර නැහැ. ඒත් මගෙ ආදරේ අඩුවක් නැහැ. මං කිසිම දෙයක් නිසා පසුතැවෙන්නෙ නැහැ. මං හැමදාමත් කළේ මට හරියි කියල හිතුන දේ. මේ සමඟ තියෙන ඔප්පුව මං ඔයාගෙ නමට ලියල තියෙන්නේ. මේකත් මට හිතුන දෙයක්. කවදහරි මං නැති දවසක මේව ඔයාගෙ අතටම ලැබෙන්න සලස්වනව කියලා මං සමදරාගෙන් පොරොන්දුවක් අරන් තියෙන්නෙ.

සතුටින් ඉන්න.

තෙරුවන් සරණයි

මීට

ආදරණීය තාත්තා

මම ඒ ලිපිය අරන් ගාට ගාට ගියේ පොඩි අක්ක ගාවට. ඇත්තටම මට හිතාගන්න බෑ එයා ඒකට මොන වගේ ප්‍රතිචාරයක් දක්වයි ද කියලා.

ඒ අතරෙදිත් පොඩි අක්කා බෙරිහන් දෙනව

“මොකාද බං ආවෙ”

“අක්කෙ… මේ…. මේ….”

“ තෙපරබාන්නැතූව කියහන් බං”

“කුරියර් එකක්”

“කාටද”

“මට”

“උඹට මොනවද බං කුරියර් කරල එවන්න තියෙන්නෙ… අනික මොකා එවන්නද…?"

මං මොකුත් නොකියා ලියුමයි කවරෙයි දික්කළා….

“හපොයි…., මේ කරල තියෙන්නෙ යසට…” එච්චරයි පොඩි අක්ක කිව්වෙ…

ගස්සගෙන, දොරත් හයියෙන්ම වහගෙන පොඩි අක්ක යන්න ගියා.

සිද්ධිය බලන් උන්නු අම්මා. මං දිහා බැලුවෙ “උඹ ඕව ගනන් ගන්නෙපා” කියන්න වගේ…

ඒත් එක්කම අක්කා විසිකරලා වගේ දාලා ගිය කවරෙ මං ආයෙමත් අතට ගත්තා. ඒකෙ ඇතුළෙ ඔප්පුවට අමතරව තව කොළයක් තිබුණා. මං ඉක්මනින් ඒක එළියට ගත්තෙ තාත්තගෙ අකුරු කියවන්න බලාගෙන, ඒත් ඒකෙ තිබුණෙ ගෑනු අත් අකුරු

ආදරණීය පොඩ්ඩි

මං ඔයාට පොඩ්ඩි කියන්නෙ පුරුද්දට. තාත්තා ජීවත් වෙලා ඉද්දි කියපු දේවල් අතරෙ වැඩි පුරම කිව්වෙ ඔයා ගැන.

මං ගැන හරියටම නොදැන වුණත් ඔයා මට ටිකක් හරි කරුණාවන්ත වුණා. ඒකට ගොඩක් පින්.

මටය කියලා මේ ලෝකෙ කාත් කවුරුවත් නෑ, හිටියෙ ඔයාගෙ තාත්ත නිහාල් විතරයි. මට නිහාල් ජීවත්වෙලා ඉද්දි එයාගෙ නිර්දෝෂී බව ඔප්පු කරන්න බැරි වුණාට සමාවෙන්න. ඒත් මේ මොහොතෙවත් ඒක නොකළොත් මට සැනසීමක් නැතිවෙයි.

පොඩ්ඩි, නිහාල් මගෙ හොඳම යාළුවා, ඉස්කෝලෙ කාලෙ ඉඳන්ම. මං හැදුනෙ අනාථ නිවාසෙක ඒ බව දැනගෙන පන්තියේ ළමයි මාව කොන් කරද්දී මගේ පැත්තට හිටියෙ නිහාල් විතරයි.

මං උසස් පෙළ කරල රස්සාවකට ගියේ අවුරුදු 18න් පස්සේ නිවාසෙන් අයින්වෙන්න වුණ හින්දා.

ඔය අතරෙ අඳුරගත්ත කෙනෙක් එක්ක මගේ සම්බන්ධයක් ඇතිවුණා. එයා සමන්ත. සමන්ත ඇත්තටම හොඳ කෙනෙක්. අපි කසාද බැන්දෙ සමන්තගෙ ගෙවල්වල අයගේ අකමැත්තෙන්. එයාලා කැමති වුණේ නෑ කාත් කවුරුවත් නැති මාව ඒ ගෙදරට වද්දගන්න. එතනදි මට හයියක් වුණෙත් නිහාල්. අපිට ඉන්න තැනක් හොයලා දීලා නෑදෑයා සහෝදරයා වෙනුවට නිහාල් අපිත් එක්ක හිටියා.

ඔය අතරෙ තමයි සමන්ත ලෙඩ වෙන්න ගත්තෙ. මගේම අවාසනාවකට සමන්තට තිබුණේ පිළිකාවක්. ඒක දැනගත්ත වෙලේ ඉඳන් මමයි නිහාලුයි පුදුම විදිහට මහන්සි වුණා සමන්තව සනීප කරගන්න. ඒත් අපි පැරදුනා.

වෙච්චි දේවල් දරාගන්න බැරුව මම මානසික ලෙඩෙක් වුණා. වරක් දෙවරක් මං ජීවිතේ නැති කරගන්න උත්සාහ කළා. ඒ හැම මොහොතකම නිහාල් තමයි මාව බේරගත්තේ.

පොඩ්ඩි, අපි අතරෙ කවදාවත් වැරදි සම්බන්ධයක් තිබුණෙ නැහැ. ඒත් මිනිස්සු නොයෙක් කතා හැදුවා. ඒව ඔයාලටත් ආරංචි වෙන්න ඇති. ඒත් ඔයාගෙ තාත්තා දෙවි කෙනෙක්.

ඒ වගේ මිනිස්සු මේ ලෝකෙ නෑ පොඩ්ඩි. මං අද මේ විදිහට ඉන්නේ නිහාල් හින්දා.

ලියුම දිග වැඩි වුණාට මට සමාවෙන්න. මේ දේවල් නොකියා මං මැරුණොත් මට පව් පිරෙයි .

පොඩ්ඩි, මට සමාවෙන්න. මං ඔයාගෙ තාත්තව

ඔයාලගෙන් උදුරාගත්තේ නෑ.

මීට

සමදරා.

ප. ලි. මම මෙහෙණි ආරාමයට යන්න තීරණය කළා. මගේ බැංකු ගිණුමෙ මුදල් වගයක් ඔයාගෙ ගිණුමට බැර කළා. තාත්තා ගාව ඔයාගෙ ගිණුම් තොරතුරු තිබුණ එක උදව්වක් වුණා.

 

https://www.dinamina.lk/2024/09/07/featured/122489/%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%92-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80/


Nissanka Rajapaksa

unread,
Oct 7, 2024, 7:25:47 PM10/7/24
to INDRAKA group
40

නන්නාඳුනන්නී

- ජගත් ප්‍රසන්න කුරුගම

"කාලතුවක්කුවකින් වෙඩි තියන්නෙ කොහොමද..?"

ඇය, මුහුද අද්දරට වන්නට සවිකර ඇති පැරණි කාලතුවක්කුව දෙසට අත දිගු කර මළානික ස්වරයෙන් අඩවන් දෑසින් අසයි. මුහුදු සුළංවලින් නැළවෙන වරළස මුහුණ පුරා විසිරී ඇත. ඇත්තටම ඇය ලස්සන ද..? මමම මගේ සිතින් එය ඇසූ වාර අනන්තය. ඇය කෙට්ටුය, දිගු වරලසකට හිමිකම් කියන්නීය, සිනාවන විට උල් වන දෙකම්මුල් හිමිකාරියකි. ඊටත් වඩා ඇයගේ සුවඳට මා ඉතා ප්‍රිය කරමි. ඇයගේ සිරුරින් හමනා සුවඳට මම තවමත් නමක් සොයමින් පසුවෙමි. එහි ඉතා ආදරණීය බවක් සැඟවී ඇත. දිගු වරලස ගෙතූ කල නිතඹටත් වියතක් පමණ දිගට විහිදී යයි. ඒ සෙනෙහස සහ රූපය මා කොතෙක් වශී කළා ද කිවහොත් ඇය හමුවනතුරු මා අත්විඳි ප්‍රේමය වියකා දමන්නට තරම් ඇයගේ ඇසුර බලවත් වින.

"කාලතුවක්කුවෙන් වෙඩි තියන්නෙ කාලයට "

" පිස්සු.."

" පිස්සු නෙමෙයි, පේන්නෙ නැද්ද ඔය මූද පැත්තට හරවල තියෙන්නෙ.. මූද, අහස, ක්ෂිතිජය මේ ඔක්කොම අයිති කාලයට."

මම ඇයට උත්තර බඳිමි. ගාලුමුවදොර අහස දැන් පෙර මෙන් සුන්දර නැතැයි මට සිතේ. අලුතින් ඉඳි වන පොර්ට් සිටිය ගාළු මුවදොර ලස්සන ගිලගනිමින් සිටී. සරුංගල් යවන ළමයින් රෑනක් හඬ නඟමින් අප පසුකර දිවයයි..

"කියන්නකෝ අනේ, කොහොමද කාලතුවක්කුවෙන් වෙඩි තියන්නෙ.."

"කාලතුවක්කුවකින් වෙඩි තිබ්බම රිදෙනවද.."

ඇය ඇසක් ඉඟි මරා මහ හඬින් සිනාසෙයි. යළි මාගේ වැලමිට කොනිත්තයි.. සැබවින්ම මගෙ මනසෙහි ඇති බර, කාලතුවක්කු දෙක තුනකට වඩා බර බව ඇය නොදනියි. ඇය හා ආදරයක පැටළුණද එක තැනක රැඳෙන මනසක් මා හට නොමැත. මාගේ මනස ඇත්තේ ඊළඟ කෙටි කතාව ලිවීම සඳහා උචිත කතා අදහසක් සිහියට නගා ගැනීම පිළිබඳවය.

"ආදරය හරියට මොන වගේ ද අනේ.. ?"

එක්වරම ඇය සුරතල් විලසකින් මා ඇමතීය..

"ආදරය හරියටම මේ වගේයි කියල කියන්න අමාරුයි. ඒක දෙන්නෙකුගෙ හිතේ ඇතිවන හැඟීමක්.. ඒකට උස් පහත් බවක්, කුල මල, වයස් භේදයක්, ජාති භේදයක් නෑ.... කොටින්ම කිව්වොත් ගෑනු පිරිමි භේදයක්වත් නෑ..."

"ඔව් ඇත්ත ...."

"ගෑනු දෙන්නෙක් අතර හරි පිරිමි දෙන්නෙක් අතර හරි නැත්නම් ඔය දෙකම අතරෙ ඉන්න දෙන්නෙක් අතර හරි ආදරයක් තියෙන්න බැරි ද.. ?

ඒක ලෝක සම්මතයට පටහැනි වෙන්න පුළුවන් .. ඒක වෙනම දෙයක්.. ඒත් මම කියන්නෙ ආදරය කියන හැඟීම එහෙම අය අතරත් ඇතිවෙන්න පුළුවන් ... හා.. නැද්ද.....?"

ඇයගේ මේ දෙඩවිල්ල මට එක්තරා ආකාරයක සතුටකට කාරණවකි. ඒත් මම කුමක් කිවයුතු ද යන්න මා හට තේරුම් ගත නොහැක.

මීට සිවු මසකට පෙර එක්තරා සැඳෑවක අහම්බෙන් මෙන් ඇය මට මුණගැසුනේ මෙතනදීමය. කෙටි කතාවක් ලියන්නට නිමිත්තක් සොයමින් තැන තැන රස්තියාදු ගැසූ මා මේ ගාලු මුවදොරටම පැමිණ ඔහේ මුහුද දෙස බලා උන් එක් දිනයක් විය. එදවස මා සිටි බංකුවට යාබදව ඇය ද හිඳගෙන සිටිනු මා දුටුවේ බොහෝ වේලාවකට පසුවය. ඇය ඉහලා උන් කුඩය හිතුවක්කාර මුහුදු සුළඟක් විසින් නතර කළේ මගේ මුහුණේ ද හප්පවා දෙපා මුල බිම දැමීමෙන් අනතුරුවය.

" සොරි ඩාලිං .....රිදුනේ නෑනේ."

නන්නාඳුනන්නිය ලයාන්විත හඬකින් එසේ කියමින් කුඩය අසුලාගන්නට නැමෙත්ම මම වහා ඉදිරියට නැමී කුඩය අසුලා ඇයට දුන්නෙමි.

"ඔයා මොකද මෙතන..?"

ප්‍රශ්නය මාගෙන් ය.

"එතකොට ඔයා..?"

අනික් පසින් පිළිතුරට පෙරළා පැනයකි.

"මම නිකන් ඔහේ මූද දිහා බලාගෙන ඉන්න ආවා..."

" මම නම් කතාවක් ලියන්න ආවේ..."

"ඉතිං ඔයා මොනව ගැනද ලියන්නෙ?"

දෙනෙත් පුංචි කරමින් ඇය අසයි

"මම ලියන්නෙ කෙටි කතා"

" අපෝ කෙටි කතාවලට මම නම් පොඩ්ඩක්වත් ආස නෑ.."

" ඒ මොකද ..?"

" ඒ, ඒව කෙටි නිසා..."

ඇය සැහැල්ලුවෙන් සිනාසලමින් තෙපුලයි.

එසේ කී ඇය සිය අත් බෑගයෙන් තම විසිටින් කාඩ්පත මා වෙතට දිගුකර පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල දෙසින් අතුරුදන් විය.

***** ****** ***** *****

දින සති මාස ගෙවී අවසානයෙහි නන්නාඳුනන්නිය මාගේ පෙම්වතිය බවට පත්විය. නමුත් තවමත් මම මාගේ කෙටි කතාව ලිවීමට කතා සංකල්පයක් සොයමින් පසුවෙමි. දුම්රිය වේගය බාලකර සෙමෙන් ධාවනය වී කුඩා ස්ටේෂමෙහි නතර විය. මා දිගටම දුරකථනයේ මෙමෝ පෑඩයෙන් මාගේ කතාව ලිවීමට නොයෙකුත් සංකල්ප සටහන්කර ගනිමින් සිටිමි. යාබද අසුනේ කාන්තාව හොරෙන් මා ලියන දෑ දෙස බලා සිටී. මම ලියැවීම නවතා මඳක් වටපිට බැලීය.

"පුදුම මිනිස්සු! පාඩුවෙ වැඩක් කරගන්නවත් නෑනේ.."

මම නැවතත් නැවැත්වූ තැනින් ලිවීම ආරම්භ කළා පමණි.

"දඩාස්!

පිටුපසින් එන්ජිම සවි කළ දුම්රිය ගමන ආරම්භ කළේය. මැදිරියෙන් මැදිරිය ගැටීමෙන් සිටගෙන සිටි කිහිප දෙනෙකු අඩි කිහිපයක් ඉදිරියට විසිවී ගොස් නොවැටී යන්‍තමින් ආධාරකයක එල්ලුනි. පිටුපසින් එන්ජිමක් සවිකළ දුම්රියක ගමන් කිරීම තරමක අපහසු කාර්යයකි. ඒ, එය නතර කොට යළි ගමන ආරම්භ කිරීමේදී වැඩි පීඩනයකින් ඉදිරියට තල්ලු කිරීම නිසා ඇතිවන ගැස්සීම හේතුවෙනි.

අදවත් කතාව ලියල ඉවර කරගන්නට ඕනෑය.

නමුත් මට ලියන්නට සිතක් නොමැත.මාගේ සිතුවිලි සියල්ලම පෙට්ටගමකට දමා සිරකර ඇතුවාක් වැනි හැඟීමකින් මා පෙළෙයි.

" අපි කොහේදි හරි හමුවෙමුකො අනේ..."

පැද්දෙන දුම්රියෙහි තාලයට ඇය මාගේ උරහිසට තට්ටු කරමින් අසයි. ලියැවිල්ල එතනින් හමාර විය. මා සිනිදු ලෙස ඇයගේ අතක් අල්ලා සිරකොට ගතිමි.

" ඉතිං අපි මේ හමුවෙන්නෙ..?

"එහෙම නෙමෙයි අනේ... කවුරුවත් නැති තැනකදි... අපි දෙන්න විතරක් ඉන්න තැනකදි..."

මට සියුම් ලැජ්ජාවක් දැනිනි.. කවුරුවත් නැති තැනක් යනුවෙන් ඇය අදහස් කරන්නේ කුමක්ද? මම ඒ මේ අත කල්පනා කළෙමි. ඇය මේ ඇරයුම් කරන්නේ අප දෙදෙනාහට පමණක් සීමාවූ රහස් ඇරයුමකට ද? නැත.... මම මොනවද මේ හිතන්නේ. ඇය එවැනි තරුණියක් වීමට නුපුළුවන.. මා එලෙස සිතීමම පවා වරදක් ලෙස හැඟේ. කිසිවෙකු නැති තැනකදී හමුවීම ලෙස ඈ අදහස් කරන්නට ඇත්තේ සිනමා හලක්, මුහුදු වෙරළක්, නැතිනම් මල්වත්තක් වීමට ද පුළුවන. අනේ මන්දා..... ඒත් මගේ හිත පිළිගන්නේම මට මුලින්ම හිතුන අනුමානයමයි.. එහෙම උණොත් .........

***** ***** ***** *****

උදෑසන නින්දෙන් පිබිදෙන විට මා යහනක තනිවී සිටියෙමි. පෙර දින සැඳෑවේ මා ගතෙහි දැවටුන ඇය පෙනෙන්නට නොමැත. අවටින් අරුණ නැඟෙමින් තිබිණ. මගේ සටහන් පොතෙහි පිටු මේසය මත විදුලි පංකාවේ සුළඟට පෙරළෙමින් තිබේ. ආයාසයෙන් පෙර දිනය මතකයට ගන්නට වෙහෙස වීමී. ඇය සමඟ ඇයගේ නවාතැනට ආ අයුරු යන්තමින් සිහියට නඟාගත හැකිවීමි. හැඳ සිටි ඇඳුම් සහ මේසය මතවූ සටහන් පොතත් හැරෙන්නට වෙන කිසිවක් මා සන්තකයෙහි නොතිබිණ. සටහන් පොතෙහි අවසාන පිටුවෙහි කළබලයෙන් ලියු දිගැටි අත් අකුරු පේලියක් පෙනේ.

" ඔයාගෙන් ගන්න කිසිම දෙයක් නෑ.... මම හිතුවෙ ඔයත් මං වගේ වෙන්න ඇති කියල. අපරාදේ මගේ කාලය ... "

යළිත් දිනක සවස් කාලයේ මා වෙරළෙහි තනිවීමි. දහස් ගනන් මිනිසුන් සහ ගැහැනු ඔබ මොබ ඇවිද ගිය ද දසතින් මුහුදු සුළඟ හමා ගිය ද මහා රළ ගෙඩි වෙරළත හඬ නගමින් සිපගත්ත ද ඒවා නොදැනෙන නොඇසෙන මහා තනි කමක් මා වෙළාගෙන ඇත. ඈත දියඹෙහි යන්නෙකුට විශාල හිස් අහස යට හැඟීම් විරහිත ජීවියෙකු ලෙසින් පුංචියට මා පෙනෙනු ඇත. සිදුවූ සිදුවීමට මාද වරදකරුවෙකු නොවේ දැයි මට දැන් සිතේ.

"ඔයා හැමදාම මගෙන් ඇහුවෙ කාලතුවක්කුවකින් වෙඩි තියන්නෙ කොහොමද කියලනෙ. අපි දෙන්නම එක කුලකයෙ වුනත්, අපි දෙන්නම මනුස්සයො වුනත් මම ඒක ඔයාට කියල දෙන්න දැනන් වුන්නෙ නෑ.. ඒත් මම දැන් දන්නව, ඔයත් හරියටම කාල තුවක්කුවක්. ඔයා මං වගේ කී දෙනෙකුගෙ හදවත්වලට වෙඩි තියන්න ඇද්ද. කාලතුවක්කුවකින් නිකන් තුවක්කුවකින් වගේ හරියටම ඉලක්ක කරල එක්කෙනෙකුට වෙඩි තියන්න බෑ. එහෙම ඉලක්ක කළත් එක්කෙනෙකුට වැදෙන්නෙත් නෑ. වැදෙන්නෙ සමූහයකට, විනාශ වෙන්නෙ එක්කෙනෙක් විතරක් නෙමෙයි. සමූහයක්..... "

අකීකරු දිය රැල්ලක් පැමිණ මා අඩක් පමණ තෙමා දැමීය..



Nissanka Rajapaksa

unread,
Oct 8, 2024, 9:30:37 PM10/8/24
to INDRAKA group
41
සාරි සහ ගවුම් කොමිසම

බන්දුල පී දයාරත්න

 “උන්නැහේ මේ කොහේද උදේ පාන්දරම යන්න හදන්නේ...?” කියා ඇසුවේ ටොම්සන් මහත්තයා ය.

“මට අද සාක්කි දෙන්න යන්න තියෙනවා..” කියා උන්නැහේ කීවේ බොහොම බරහඬකිනි. පිළිවෙළකට සරමක් හැඳ, ඒ උඩින් අලූත් කමිසයක් ද හැඳ සිටි උන්නැහේ වෙතින් පෙනුණේ වෙනදාට නැති ගරු ගාම්භීරකමකි.

“ඒ මොකක්ද? මොන නඩුවකටද? අපි දන්නෙත් නෑනේ.. උන්නැහේ මෙච්චර කාලයක් මේ වගේ සිද්ධියක් හංගාගෙන හිටපු එකනං වැරදියි... ” කියා ඇම්බන් මහත්තයා සාලයට එමින් කීවේ ය.

“මං මොනවා හංගාගෙන ඉන්නද? ඇයි ඔය පහුගිය දවස්වල පත්තර කියෙව්වේ නැද්ද? ඔය රූපවාහිනී ප්‍රවෘත්තිවලත් කීප සැරයක්ම කිව්වේ...” කියා උන්නැහේ කොචොක් හඬින් කීවේ හිස ජැන්ඩියට පීරන ගමන් ය.

“ඉතින් ඔහොම සරමක් ඇඳලා යනවාද උසාවියක සාක්කි දෙන්න.. නඩුකාරයා කූඩුවටදායි ඔන්න..” කියා ටොම්සන් මහත්තයා කීවේ උපදේශයක් විලසිනි.

“නෑ.. එහෙම වෙන එකක් නෑ... මේක මේ නඩු අහන උසාවියක සාක්කි දෙන්න යන එකක් නෙවෙයි... මේක මේ කොමිසමක සාක්කි දෙන්න යන එකක්...” කියා උන්නැහේ කීවේ මඳසිනහකින් යුක්තව ය.

”කොමිසමක් කියන්නේ... මට නං තේරෙන්නේ නෑ... අනික උන්නැහේට විතරක් කොහොමද එහෙම කොමිසමක සාක්කි දෙන්න කැඳවන්නේ... ” කියා ඇම්බන් මහත්තයා පුදුමයෙන් ඇසුවේ ය.

”මේක මේ සාරි සහ ගවුම් කොමිසමක්... ඉස්කෝලෙට ගැළපෙන්නේ සාරිද? ගවුම්ද? ” කියලා මහජන සාක්කි විමසන කොමිසමක්... මාත් ඒකට ලියුමක් දැම්මා මටත් සාක්කි දෙන්න අවස්ථාවක් දෙන්න කියලා.. ඒකයි...” කියා උන්නැහේ කීවේය.

ටොම්සන් මහත්තයාත්, ඇම්බන් මහත්තයාත් බක බක ගා සිනහසුණෝ ය.

“ඇයි හිනාවෙන්නේ... ? මේක මේ ආදිකාලීන යුගයක් නෙවෙයිනේ.. මේ නවීන යුගේ... අනික් එක පශ්චාත් නූතනවාදී යුගයක්... ඉතින් අම්මලා සාරි ඇන්දම මොකෝ... ගවුම් ඇන්දම මොකෝ... විදුහල්පතිවරුන්ට පුළුවන්ද ඇඳුම් ඇඳීමේ මූලික අයිතිවාසිකම් තහනම් කරන්න...” කියා උන්නැහේ ඇසුවේ දැඩිහඬකිනි.

“එහෙම එකක් වෙලා තියෙනවද?” කියා ඇම්බන් මහත්තයා ඇසුවේය.

“තියෙනවා නේන්නම්... මේකට විදුහල්පතිවරුන්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කරන්න ඕනෑ.. මං කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන කෙනෙක්...” කියා උන්නැහේ කීවේ ලිපිගොනුවක්ද අතින් ගෙන කිහිල්ලේ ගසාගනිමිනි.

“මේවා මේ අබුද්දස්ස කාලේ කතානේ... දරුවෝ ඉන්න පාසලකට යන දෙමාපියෝ කොහොමද ඇඳලා ඉන්න ඕනෑ කියලා මෙච්චර කාලයක් කිසිම ප්‍රශ්නයක් තිබුණේ නෑ... දැන් කොහොමද ඒක ප්‍රශ්නයක් වුණේ...? මට නං තේරෙන්නේ නෑ...” කියා කියමින් ටොම්සන් මහත්තයා සාලයේ වූ හාන්සි පුටුවේ ඉඳගත්තේය.

“හරි ඉතින් ඒ කාලේ තිබුණා ද තුන්කාලේ කලිසම්.. නෑනේ... ඒ කාලේ තිබුණා දැන් ඔය අඳින මෝස්තර ඇඳුම්...” කියා උන්නැහේ තර්ක කළේය.

“මොකද නැත්තේ.. තුන්කාලේ කලිසම් ඒ කාලෙත් තිබුණා.. ඔය බන්ධනාගාරවල සිරකරුවෝ අඳගෙන හිටියේ ඒ බාච්චු කලිසම් තමයි.. දැන් ඉතින් ඒක ඔය ඩෙනිම්වලින් මහලා.. මෝස්තර කරලා එනවා... පහුගිය කාලේ ඔය ගැන කොච්චර කතාවෙලා තියෙනවාද? අත් නැති ගවුම්, අත් කොට ගවුම්, කොට ගවුම්, දිග ගවුම්.. ඉතින් ඕවා.. හැම කාලෙම තිබුණානේ. හැබැයි අපේ අම්මලා දැනගෙන හිටියා.. පන්සලට කෝවිලට පල්ලියට යන්න අඳින්නේ මොකක්ද? පාටියකට යන්න අඳින්නේ මොකක්ද? මඟුල් ගේකට යන්න අඳින්නේ මොකක්ද? රස්සාවට යනකොට අඳින්නේ මොකක්ද? කියලා.. දැන් ඉතින් මොකක්ද මේ වෙලා තියෙන්නේ...? ” කියා ටොම්සන් මහත්තයා ඇසුවේය.

“වෙලා තියෙන්නේ... ඔය ඔක්කොටම එකම ඇඳුම අඳින එකනේ.. ඒක පහසුයි. ලේසියි... සුන්දරයි... කියලානේ ඔය රූපවාහිනියෙන් වුණත් නිතරම ඇඳුම් ගැන කියන්නේ.. ඒක එහෙම තමයි... ඉස්කෝලවලට ඇතුළු වන තැන ගහලා තියෙනවානේ.. මේ ඔබේ දරුවාගේ පාසලයි කියලා.. ඉතින් ඒක කියවාගන්න තරම්වත් වෙලාවක් දැන් නෑනේ... ඔක්කොම කෙටි වැඩනේ.. කෙටි කෑම... කෙටි ගමන්, කෙටි ගවුම්, කෙටි සාරි, කෙටි කලිසම්, කෙටි කතා... ” කියා ඇම්බන් මහත්තයා කීවේය.

“කෙටි කතා ඕකට අයිති නෑනේ.. ඒක වෙනම දෙයක්නේ... ” කියා ටොම්සන් මහත්තයා කීවේය.

“ඇයි නැත්තේ.. දැන් තියෙන්නේ ඔය ජංගම දුරකථනයෙන් ඔක්කොම කෙටි කතානේ... දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ... ඒකට ගැළපෙන විදිහට මේවා වෙනස් කරගන්න යන එකනේ...අර ගීතයකුත් තියෙන්නේ මේක සොඳුරු ලෝකයක් කියලා.. අම්මලා විතරක් නෙවෙයිනේ.. අපි නවීන ලෝකෙට යනවා නම්... ඒ විදිහට වෙන්න ඕනෑ.. මං දැක්කා අර කවුද දොස්තර කෙනෙක් කියලා තිබුණා... ඉස්කෝලේ ඉන්න ගැටවර ළමයින්ට කැමති විදිහට කොණ්ඩෙ පීරන්න.. මෝස්තර දාන්න නොදෙන එක ඒ අයට කරන හිංසාවක් කියලා... අන්න ඒ විදිහටයි එන්න ඕනෑ... අපි එතනින් පටන් ගනිමු.. එතකොට ඕක විසඳන්න පුළුවන්..”

“උන්නැහේ කැමති නම් ගිහිල්ලා සාක්කි දීලා එන්න.. ඒක ඉතින් තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිවාසිකමක්නේ... හැබැයි මට නං අහන්න තියෙන්නේ එකම ප්‍රශ්නයයි...” කියා ටොම්සන් මහත්තයා කීවේය.

“ඒ මොකක්ද ටොම්සන් මහත්තයා ? ” කියා ඇසුවේ උන්නැහේය.

“ඕවද මේ රටේ තියෙන අධ්‍යාපන ප්‍රශ්න...?”

https://archives1.dinamina.lk/2016/10/25/24317

Nissanka Rajapaksa

unread,
Oct 9, 2024, 8:25:56 PM10/9/24
to INDRAKA group
42

දුලබ මල 


- පවිත්‍රා අභයවර්ධන


ඔෆිස් වෑන් එක එනවා දැක්කම ශලිනි දුරකථන ඇමතුම නවත්තලා ලෑස්ති උනා.


ඩ්‍රයිවර්ට පිටිපස්සෙ සීට් එකේ චතුරි හිනාවෙවී බලන් ඉන්නවා. මාසෙකට දෙකකට සැරයක් ඔෆිස් නොයා මේ වගේ සයිට් යන එක තමයි රස්සාවේ තියෙන විනෝදම දේ. ඈත පැති වලට ගිහින්, කඩවල් වලින් කාලා, වැඩි දුරක නැති ලස්සන දිය ඇළි, පන්සල් බලලා රෑ වෙලා එන්නනෙ තියෙන්නෙ.


සුජාත සර් වගේ ලෝභ නැති බොස් කෙනෙක් එක්ක යනවනම් මුළු ගමනෙම වියදම් සර් ගානෙ. අන්තිමට ගෙදර ගේන්නත් ජාති අරන් දෙනවා. 


අද නම් යන්නේ රංජිත්. ඌට සර් කියන්නවත් හිතෙන්නේ නෑ. සෙවලයා.


 “මේ, ඇතිවෙන්න සල්ලි අරන් වරෙන්, අපිට මිස්ටර් රංජිත්ටත් එක්ක කන්න අරන් දෙන්න උනේ නැත්නම් ඇති” ඊයෙ චතුරිත් කිව්වේ ඒක.


යන ඉහළ නිලධාරියා අතට තමයි ඔෆිස් එකෙන් හැමෝගෙම මග වියදම් දෙන්නෙ ඇඩ්මින් එකෙන්. රංජිත් එක්ක යද්දි සමහර වෙලාවට දවල් බත් කන්නවත් ලැබෙන්නේ නෑ කට්ටියට. බොරු කිය කිය ඇවිත් චූන් පාන් කරත්තෙකින් බනිස් වත් අරන් දෙනවා. ලෝබයා. එහෙම සල්ලි එකතු කර කරත් පෙරේතයා වගේ කිලුටු පෙරාගෙන ඉන්නෙ. 


ශලිනි නම් සත පහකට ගණං ගන්නේ නෑ. අනිත් කෙල්ලන්ට වගේ ඥුරු ඥූරු ගගා ශලිනි ළඟ දැවටෙන්න රංජිත් එන්නේ නැත්තෙ දෙතුන් පාරක් ශලිනිගෙන් අනිත් පැත්තට සැරට අහගන්නට පස්සෙ.


අනිත් අයට වගේ ඌ තරහ කරගෙන රස්සාව නැති වෙයි කියලා ශලිනිට බයකුත් නෑ. ශලිනි ඇත්තටම රස්සාවට එන්නේ සල්ලි අඩුපාඩුවකට නෙවෙයි. අම්මලා තවම වැඩ. නුවන් නැවක වැඩ. ඉතින් අද රස්සාව නැති උනත් ශලිනිට බහක් නෑ.


“අම්මෝ සුවඳ. මොකද්ද අනේ පර්ෆියුම් එක? නුවන් ගෙනාව එකක්ද?”


“හ්ම්” කෙල්ලො දෙන්නා කතාව පටන් ගත්තා.


සැරින් සැරේ රංජිත් පිටිපස්සේ සීට් එකෙන් බෙල්ල දාලා කතාවට පැන්නට ශලිනි වැඩිය ගණං ගන්නේ නැති නිසා කතාව දුර දිග ගියේ නෑ.


“පව් ශලී, වැඩිය මුකුත් හරහට කියන්න එපා” චතුරි ශලිනිට කිව්වේ උදේ කෑමට බැහැපු තැනදී. 


“අපි දන්නේ නෑනෙ ඔය මිනිස්සුන්ගේ ගෙවල් වල තියෙන ප්‍රශ්න. රංජිත් මහත්තයාගේ නෝනා යක්සනියෙක් වගේලු. අර නාලනී මිස් එහෙම කියන්නේ මාර දුක හිතෙනවලු කියන ඒවට. ළමයි හින්දා ඉවසගෙන ඉන්නවා. නැත්නම් සුයිසයිඩ් කරගන්නවා කියලා කියනවලු”


“අනේ ඔය නාලනී මිස්ලා අහන නිසා තමයි ඕකා ඔය අඬවැඩියාව කියන්නේ” ශලිනි ගස්සල කිව්වට ටිකක් කල්පනා කරන්න ගත්තා. ඇත්තමද දන්නෙ නෑනෙ. ඇත්තටම පූරුවෙ වයිරක්කාරයො වගේ වදකාර ගෑණු ඉන්නවනෙ. කොහොමහරි ගමනෙ ඉතුරු ටිකේ ශලිනි වැඩිය රංජිත්ගේ කතාවලට කැපෙන්න මුකුත් කිව්වේ නෑ.

--------------------------

“අපේ ගෙවලුත් තියෙන්නේ මේ යන පාරේ” 


“ඉතින් මිස්ටර් රංජිත් මොකටද එතනින් නගින්නේ නැතුව පාන්දර ඔෆිස් ආවෙ?”


යන්තම් හිනා උනා මිසක් රංජිත් මුකුත් කිව්වේ නෑ. ගෙදර ගිනි ගොඩක් වගේ දැනෙන මිනිහෙකුට ගෙදරින් පිටවෙලා ඉන්න පැයත් සැනසීමක්ද දන්නේ නෑනෙ. ඉතින් ශලිනිත් මුකුත් කිව්වේ නෑ.


‘අනේ එහෙනම් මගේ වැඩේ ගැන අහගන්න පුලුවන්” චතුරි පිටිපස්සට හැරුණේ විදුලිය වගේ.


 “අනේ මිස්ටර් රංජිත් ඒ පැත්තේ තියෙනවද මයුර තාල කියලා පැළ ජාතියක්? අපේ අම්මගෙන් බේරිල්ලක් නෑ මම හඳුන්ගම යනවා කිව්වම ඒ පැත්තේ ඔය පැළ තියෙනවාලු. ඉස්සර අම්මගෙ යාලුවෙක් ඉඳලා අම්මා එහෙන් ගෙනත් තියනවා. දැන් ඒ පැළේ මැරිලා. වෙන කොහේවත් අම්ම දැකලා නෑලු කියලා නහින්න හදනවා මට අද බලලා ගේන්න කියලා”


“මයුර තාල? මොකද්ද අනේ ඒ? මම අහලවත් නෑ?” ඒ ශලිනි.


“මොණර පිළක් වගේලු ඒ පැළේ මල. හුළඟට හෙළවෙනකොට මොණරා පිළ විදහගෙන නටනවා වගේලු.”


“සර්ච් කරලා බලමු” ශලිනි කොය‌ි දේ හොයන්නත් පිහිට වෙන ගූගල් තීරයේ මයුර තාල කියලා අකුරු ගැහුවේ ක්ෂණයෙන්.


“අම්මෝ ඇත්තටම ලස්සනයි තමයි” ශලිනි කිව්වේ හුළඟට ළෙළදෙන මයුරතාල මලක වීඩියෝව බලන ගමන්. “මොණරෙක් වගේමයි නේ, මේක ලංකාවෙ ඒකදේශික පැළයක්. දැන් රෙඩ් ඩේටා ලිස්ට් එකටත් වැටිලලු. මේ පැත්තේ විතරලු හැදෙන්නේ. “


“ආ මේ මොණර මල්නෙ.” රංජිත් කිව්වේ ඉස්සරහට නැවිලා ශලිනිගේ දුරකථනය දිහා බලන ගමන්. “ මේවා අපේ වත්තෙත් තියෙනවා ගාලට. අපිට නම් දැකලා දැකලම අගයක් නෑ. මම සඳුද‌ට පැළයක් ගෙනත් දෙන්නම් චතුරි”


“අනේ මිස්ටර් රංජිත් අද ගෙනියන්න ඕන. මොකද මම මාසෙකට සැරේ නේ ගෙදර යන්නේ. මම අද මේ ගමන් ගෙදර යනවා”


“ඉතින් මම ලබන මාසෙ ඔයා ගෙදර යන දවසට ගෙනත් දෙන්නම්” 


“හරි හරි ඉතින් අපි ගෙදර එනවට කැමති නෑනෙ. අපි තේ බොන්න එහෙම එන්නේ නෑ. පැළේ ගලවලා දීපු ගමන් අපි යන්නම්” චතුරි හිනා වේවී කිව්වට රංජිත්ගේ මූණ කලු වෙලා යන හැටි ශලිනිත් දැක්කා. 


එයා රංජිත්ට නොපෙනෙන්න වැලමිටෙන් චතුරිගේ ඉළේට ඇන්නා. සමහර ගෑණු කැමති නෑනෙ මහත්තුරුන්ගේ ඔෆිස් වල ගෑණු අයට. ඒ හින්දද දන්නෑනෙ රංජිත් ගෙදර එනවට කැමති නැත්තේ.


“නෑ ඉතින් දන්නෙ නැද්ද. අපේ නෝනලා එහෙම ඉතින් ඔයාලා වගේ පොෂ් නෑ. බොහොම සාමාන්‍ය කට්ටියනෙ”


“අපෝ ඒක නම් මොකද?” 


කට්ටිය වැඩ ඉවර වෙලා රංජිත්ගේ ගෙවල් හරියට එද්දි හවස් වෙලා. 


‘අපේ නෝනා නං ගෙදර නැතුව ඇති. අද පුතාට පන්ති. අම්ම ඉන්නවා”


ලොකු ගෙයක් උනාට කිසි කළ එළි පාටක් නැති ගෙයි එළියේ රංජිත්ගේ අම්මා මල් කඩනවා. 


“මේ අම්මෙ අපේ ඔෆිස් එකේ මිස්ලා වගයක්. අර මොණර මල් හොයනවා මම ඉතින් එක්ක ආවා”


“හ්ම්” අම්මා කිව්වේ කෙල්ලො දෙන්නගෙ ඔලුවෙ ඉඳන් දෙපතුළටම නුරුස්සන විදිහට බලලා. 


 “අප්පේ අම්ම නම් වස පාටයි නේද?"


වත්ත පහළ තණකොළ ගොල්ලෙ කොරවක්කො වගේ උඩින් අඩි තියල යද්දි චතුරි කිව්ව.


“හ්ම්”


පැය භාගයක් විතර හෙව්වත් මයුර තාල පැළයක්වත් හොයාගන්න බැරි උනා.


“මේ වත්ත හැම තැනම තිබ්බනෙ අප්ප. වඳ උනාද දන්නෑ.” 


රංජිත් කිව්වේ වටේට කැරකි කැරකි.


“කමක් නෑ මිස්ටර් රංජිත්, රෑ වෙනවනෙ අපිටත්. තිබුණොත් මට පස්සෙ පැළයක් ගෙනත් දෙන්නකො.” ලොකු බලාපොරොත්තුවකින් ඇවිත් ඒක කඩවුණු නිසා චතුරිගෙ මූණත් කළුවෙලා.


“ඔන්න බලන්න ඉතින්. ඔච්චර වටින, ඔච්චර ලස්සන මල් පැළයක් වත්තෙ තිබිලත් මිස්ටර් රංජිත්ලා පරිස්සම් කරලා නැති හැටි” ශලිනි එන ගමන් කිව්වා.

----------------==-=======

ගෙමිදුලේ පොඩි දරුවෙක්ගෙ අතින් අල්ලගෙන හිටපු ගෑණු කෙනා හැරුණේ කට්ටිය මිදුලට ගොඩ වෙද්දි. හරිම සාමාන්‍ය මල් බ්ලවුස් එකකට තනි පාට සායක් ඇදලා, නාටු කොණ්ඩයක් තනි කරළට ගොතපු එයා රංජිත්ට වඩා වැඩිමල් බවක් තමයි බැලූ බැල්මට පෙනුණේ. ආලේප නැති මූණෙ බයාදු හිනාවක් ඇඳිලා.


“අද බස් පරක්කුයි. හැතැම්මක් විතර පයින් ආවා.” 


අවුරුදු පහළවකට විතර කළින් මතකයක් ශලිනිගෙ හිත ඇතුළේ අකුණු ගැහුවේ ඒ හිනාව දැක්ක ගමන්.


ඒත් මේ වගේ රූපයක් නෙවෙයි.


බාලිකා වේදිකාවේ හතර කොණේ සැරිසරලා, ප්‍රේක්ෂකාගාරය උමතු කරපු ලේඩි මැක්බත් කෙනෙක්. 


වෙස්ටර්න් බෑන්ඩ් එක ඉස්සරයින් මේස් ඒක කරකව කරකව ගිහින්, ආරාධිත අමුත්තො ඉන්න පීඨිකාව ඉස්සරදි ඒක අහසට විසි කරලා, සැලියුට් ගහලා තත්පරේට මේස් එක ආපහු අල්ලගෙන යන නොවරදින ගමනක්. 


ශලිනි පියානෝ ගහද්දි වැරදෙනකොට ඇඟිලි වලට හිමින් කෝටුවකින් තට්ටු කරලා තරවටු හිනාවක් දාන අයස්කාත්න මූණක්. 


බාලිකාවෙ රූප රැජින. 


පොඩි කෙල්ලො දිව්‍යාංගනාවක් දිහා ව‌ගේ ආසාවෙන් බලා හිටපු ලස්සන රූපිකා අක්කා.


ඒ එක්කම ශලිනිට මතක් උනේ අන්තිමට රූපිකාව දැක්ක දවස. තමන් ගත්තු තීරණයට විදුහල්පතිතුමියගෙනුයි අංශ ප්‍රධාන මිස්ගෙනුයි හොදටම දොස් අහලා ඔෆිස් එකෙන් එළියට බහිද්දියි ඒ.


“ඇත්තට ඇයි අක්කි ඔච්චර රෑන්ක් එකක් තිබිලත් කැම්පස් යන්නේ නැත්තෙ? කොච්චර අපරාදේද?”


“සෞන්දර්ය නේ. රංජිත් අයියා කැමති නෑ නංගි යනවට”

--------===--------------

“ඇත්ත තමයි. කොච්චර ලස්සන, වටින මල් පැළයක් උනත් අගයක් නැති උනාම නැති වෙලාම යනවා” 


ශලිනි තමන්ටම කියා ගත්තෙ රූපිකාට කතා කරම්දෝ නොකරම්දෝ කියලා හිතන ගමන්.


https://www.facebook.com/share/p/nvQq1iNCG6WNsQVm/?mibextid=oFDknk


Nissanka Rajapaksa

unread,
Oct 10, 2024, 8:59:02 PM10/10/24
to INDRAKA group
43

නිරුවත් දෙන්නෙක්


උපුල් වික්‍රමනායක

සියල්ලම මේ වෙද්දී අවසන් වී ඇත.

වීරරත්න දිගු නින්දකට වැටී සිට එක් වරම ගැස්සී ඇහැරුණාක් මෙනි.

“පේනවනේ අර පාහරයගේ වැඩ… දැන් ඉතින් කොහොමද අර ගෑනියි ළමයිනුයි රට්ටුන්ට මූණ දෙන්නේ…?” වීරරත්න අන්දමන්ද වී වටපිටාව විපරම් කළේ කොහෙන්දෝ ආ කට හඬට අවධානය යොමු කරමිනි. ඒ හඬ වීරරත්නට හොඳට හුරු පුරුදුය. වීරරත්න ඒ හඬ ඇසුණ ඉසව්වට යන්නට උත්සාහ කළත් එය කොහෙත්ම කළ නොහැකි විය. තමන් කොහේ හෝ තැනක ගැට ගසා ඇත්තාක් මෙනි. එහෙත් එසැණින්ම ඔහු ගුවනට පාවෙන්නාක් සේ දැනුණේ පුදුමාකාර සැහැල්ලුවක් ද සමගිනි.

“ලෝකෙට පෙන්නන්නේ එකක්…. කරන්නේ අමන වැඩ… හරිම සුද්දවන්තයෝ… ”

කාන්දමකට අසුවුණ යකඩ කැබැල්ලක් මෙන් ඉහළට ඇදෙන වීරරත්න මහත් ආයාසයක් ගෙන මොහොතකට නැවතී හතර අත සිසාරා බැලුවේය. ඒ කිසිම දෙයක් සිතා ගැනීමට නොහැකිවය. බිරිය සාලයේ පුටුවකට වී සිටින්නීය. ඇයගේ මුහුණේත් දෑසෙත් ඇත්තේ කොහෙත්ම සිතා ගන්නට බැරි අමුතුම ස්වභාවයකි. දුකක් ද කෝපයක් ද සිතා ගත නොහැකිය. මෙතුවක් කල් සියලු කරදර විඳ දරා සිටි ඇයගේ ඉරියව්ව ඔහුට කොහෙත්ම සිතා ගත නොහැකිය. වීරරත්න සෙමින් සෙමින් බිරිය ළඟට ඇදුණේ කිසිත් සිතා ගැනීමට නොහැකිවය.

වීරරත්න ඇය ඇමතීමට උත්සාහ කළත් ඔහුගේ මුවින් වදන් පිට නොවී සිරවෙන්නාක් මෙන් දැනිණි. බැරිම තැන ඔහු කිහිපවතාවක්ම ඇයගේ උරහිසට අත තබා සොලවන්නට තැත් කළේය. එහෙත් එය ද කළ නොහැකි වූයේ මොකක්දෝ නොපෙනෙන බලවේගයකින් ඔහු සිර කරගෙන සිටින්නාක් මෙන් දැනුණ හෙයිනි.

“දැන් පේනවනේ ගෑනිටයි ළමයින්ටයි ගෙදර ඉන්නත් බැරි තැනට ඇදලා දාලා… කාලකණ්ණියා… ”

වීරරත්නගේ සිතට ප්‍රශ්න කිහිපයක්ම ආවත් ඒවා සිතේම රඳවාගෙනම ඔහු ගෙයින් එළියට බැස්සේය. ඇත්තෙන්ම ඔහු එළියට බැස්සා නොව ඉබේම පාවී ආවාක් මෙනි. මිදුල එහෙම පිටින්ම කසළ ගොඩක් ගානය. හිස් බීම බඳුන් මෙන්ම ප්ලාස්ටික් කෝප්ප තොගයක් ද සීසිකඩ විසිරී ඇත. වෙනදා දිනපතා අතුගාන මිදුලට බිරිය හත් අට දවසකින් පය තබලාවත් නැති ගණන්ය. බැනර් කිහිපයක් එල්ලූ ලකුණු පෙනෙන්නට ඇත. කෑලි කැපුණ ලනු සහ වයර් කැබලි කිහිපයක් මේ වගට සාක්කි දුන්නේය. මේ සියල්ලත් සමඟ වීරරත්නගේ සිතට දැනුණේ කිසියම් ගුප්ත බවකි.

“අනෙක අච්චර හොඳ ගෑනියෙක් ගෙදර ඉදිද්දී මේ මිනිහා මොන එහෙකට අනුන්ගේ ගෑනුත් එක්ක ලඟින්න ගියාද මන්දා…? ”

වීරරත්නගේ සිත කිසියම් තෝන්තුවාවකින් පෙළෙන්නට විය. ඒත් සමඟ කිසිවකු ඔහු තල්ලු කර දමන්නාක් මෙන් දැනිණි. ඔහු එක්වරම නි‍ෙවසේ ගේට්ටුවෙන් පිටතට ඇදී ගියේය. ඔහුගේ නෙත ඇදුණේ අසල්වැසි නිවෙසේ පුටුව මත්තේ තිබූ පරණ පත්තරය දෙසටය. දෙකට නැවී තිබුණ පත්තරයේ යට කොටසේ තිබුණ පින්තූරය ඔහුගේ ඇස ගැටුණේ නිමේෂයකිනි. වීරරත්නට උතුර දකුණ මාරුවී අන්දමන්ද වී ගියේය. මේ ඇයයි. එහි ආයෙමත් දෙකක් නැත. පින්තූරයට යටින් ඇත්තේ ඇගේ නම විය යුතුයි.

නිරංගා විජේසිංහ

නිරංගා විජේසිංහ…? පුවත්පතක මුල් පිටුවක පින්තූරය යාමට තරම් ඇයට කුමක් සිදු වීද?

පිට මැද්දට වැටෙන කළුවන් දිගු කෙස් කලඹ මෙන්ම දිගටි මුහුණ එක්වරම ඔහුගේ මතකයට ආවේය.ගෙයක තාප්පයක් අසලට රොක්වුණ ගැහැනුන් කිහිපදෙනකු මොනවදෝ කුටු කුටු ගාමින් කතා කරමින් යනු ඔහුට පෙනෙයි. වීරරත්නට ඔවුන්ගේ හඬ පැහැදිලිව ඇසෙන්නට විය.

“අර අපූරුවට හිටපු මිනිහා අන්දවා ගෙන තියාගෙන…. මේකි මේ එක එකා එක්ක ලගින්න ගිහින්…”

එකයි ඔය අහුවුණේ අපි නොදන්නවට තව කී දෙනෙක් එක්ක ලැගලා ඇද්ද…? ”

තවත් ටික වේලාවක් යද්දී ඔහු මුඩුක්කු පෙළක් බදු පාරක ඇවිද ගෙන යන්නට විය.

“මට නම් ඔය ගෑනි දකිනකොටම හිතුණා හොඳ නල්ල මලේ භාණ්ඩයක් කියලා… ”

“ඒත් අර මනුස්සයා පව්… ”

ගෙවල් ගොඩක් මැද්දෙන් ඇවිද ගිය ඔහුගේ දෑස අකුණු සැරයකට අසුවූවාක් මෙන් උඩ ඉන්දුණේය. ඔහු මේ දසුන කොහෙත්ම බලාපොරොත්තු නොවීය. මේ ඇයයි. මීට කලින් දෙවතාවක් හමුවුණ ඇයයි. එහෙත් ඇය බොහෝ සේ වෙනස් වී සිටියාය. මුහුණේ වූ පියකරු බව කවුරුන් හෝ හොරා ගෙන ගොස් තිබුණාක් මෙනි. තවත් ටික වේලාවකදී ඔහුගේත් ඇයගේත් නෙත් එකට යා වූවාක් විය.

“ඔ… ඔයා…? ” ඔහු ඇයගෙන් විමසුවේ තරමක් සැලෙන හඬකිනි.

“ඔ…ඔව්… ඔයත් ආවාද…? ” ඇය විමසුවේ කිසිම හැඟීමකින් තොරවය. “මම හිතුවේ නෑ… ඔයා මෙතැනට එයි කියලා…. ”

“ආව නෙමෙයි… එවුණා…. කොහොම ආවද කියලා හිතා ගන්නවත් බෑ… ”

“ඔයාට මේ මොකද වුණේ… ”

“ඇයි මොකද වෙලා තියෙන්නේ…? ”

“නෑ …. ඔයා හිතා ගන්නත් බැරි විදියට වෙනස් වෙලා…”

“මම වෙනස් වුණේ කොතැනදිද කියලා මටවත් හිතා ගන්න බෑ… මේ ලෝකෙ ඉපදුණ මිනිහෙක් කොයි වෙලේ කොතැනකදී වෙනස් වෙනවද කියලා හිතාගන්න බෑ… එකක් බාහිරව අනික මනසින්… ප්‍රශ්නය තියෙන්නේ ඒ හැම වෙනස්වීමක්ම අනික් අයට කොහොම බලපානවද කියන එකයි…”

“ඔයා මොනව කියනවද කියලා මට හිතාගන්නවත් බෑ…”

“ඇත්තම කියන්න මම හිටියේ ලොකු ප්‍රශ්න ගොඩක… දැන් මට හිතෙනවා ඒ හැම ප්‍රශ්නයකින්ම නිදහස් වෙලා වගේ හැඟීමක්…”

“ඒ කොහොමද එහෙම වෙන්නේ..?”

“කොහොම වුණත් එහෙම වෙලා තියෙනවා… ඇත්තටම මම ඔයාව දැනගෙනත් දවස් දෙකයි… ඒත් ඒ දවස් දෙකට ලොකු බැඳීමක් අපි අතරේ ඇති වුණාදෝ කියලා හිතෙනවා…. ඇත්තටම අපි අතරෙ තිබුණේ නිකම්ම නිකම් ඇඳුනුම්කමක් විතරයි. අදට වගේම හෙටට ඉතුරු වෙලා තියෙන්නේත් ඉතුරු වෙන්නෙත් ඒ ඇඳුනුම්කම විතරයි.. කොටින්ම දවස් දෙක තුනක් දැකපු මතකයක් විතරයි… ඒ වගේම මීට කලින් එකම එක වතාවක් කතා කරපු මතකයක් විතරයි…”

ඇය කීවේ ඉවත බලාගෙනය. කොහෙන්දෝ කඩා පාත්වුණ සුළං රැල්ලක් ඇදී ගියේ ඇගේ මුහුණ හරහා කෙහෙ රැල්ලක් ද පා කර යවමිනි. ඒ සමඟ පිළිණු කෑම බඳුනක දුගඳක් ද නාස් පොලු හාරාගෙන ගියේය.

“පර බැල්ලි… මෙව්ව තමයි ලස්සනට ඇඳලා පැදලා කරන වැඩේ… මුංගේ මේ අලුගුත්තේරු වැඩ හින්ද දැන් මහ එකාට විතරක් නෙමෙයි… අර නොදරුවන්ටත් පාරක බැහැල යන්න බෑ…”

ඔවුන් දෙදෙනා අතරින් යමින් සිටි කතුන් දෙදෙනකුගෙන් එකියක කීවේ ඇනුම් පදයක් විලසිනි.

“කොහොම වුණත් තවමත් මට ඔයා තේරුම් ගන්න බැරි ගුප්ත චරිතයක්. හරිම අබිරහසක්. කලින් වතාවක් දෙකක් මම ඔයාව දැකලා තිබුණ මතකයට තමයි ඔයා මගේ කාර් එකට නග්ග ගත්තේ…”

“මම බොහොම ගුප්ත චරිතයක් විදියට පේන්න පුළුවන්. අනෙක එහෙම හිතන එකේ වැරැද්දකුත් නෑ. කෙනෙක් දවසක් දෙකක් දැකපු පළියට ඒ මනුස්සයා කොයි වගේ කෙනෙක් ද කියලා තේරුම් ගන්න පුළුවන්කමක් නෑ…”

“මට ඔයා කියන කිසිදෙයක් තේරුම් ගන්න බෑ…”

“ඔයාට විතරක් නෙමෙයි. කාටවත් මාව තේරුම් ගන්න බැරිවුණ කෙනෙක්…. අන්තිමේදී වුණේ මනුස්සයා දාලා ගිය දරුවකුගේ අම්මා කෙනෙක් විදියට මිනිස්සුන්ගේ නොයෙකුත් කයි කතන්දර අහගෙන තනියම රස්සාවත් කරගෙන ඉන්න වෙච්ච ගෑනියෙක් වෙන එකයි…”

“ඒ කොහොමද එහෙම වුණේ…?”

“ඒක වුණේ දැනට අවුරුදු ගානකට කලින් එක දවසක වෙච්ච සිද්ධියකට පස්සෙයි… නිළියක් වෙන්න බලාගෙන කොළඹ ආවාම අන්තිමේදී මට සුද්දෙක් එක්ක ලගින්න වුණා… චිත්‍රපටියක රඟපාන්න දෙනවැයි කියලා මාව රවට්ටගෙන කාමරයකට දාගෙන අන්තිමේ නිල් චිත්‍රපටයක කොටස්කාරියක් වෙන්න වුණා…”

“මනුස්සයෙක් වුණාම තමන්ටත් මොළයක් කියලා දෙයක් තියෙනවා කියලා තේරුම් ගන්න පුලුවන් වෙන්න එපැයි…?”

“ඒත් හුඟක් ගෑනුන්ට හුඟක් දේවල් තේරුම් යන්නෙ ටිකක් කල් ගිහින්… ”

“ඒක ගොඩක් අය වැරදුණාම කියන කතාවක්… ”

“ඒ චිත්‍රපටිය කවදාවත් ලංකාවේ පෙන්නන්නේ නෑ කියලා පොරොන්දු වුණත් පිටරටකදී ඒක දැකපු මගේ නෑයෙක් ලංකාවට ආව වෙලාවක ඒක මගේ තාත්තාට පෙන්නලා තිබුණා… ඒක දැක්ක තාත්තා ගෙදර එන්නත් කලින් කෝච්චියට පැනලා දිවි නහගෙන තිබුණා. අන්තිමේ ඇත්ත කතාව ආරංචි වෙලා ගමේ ඉන්නත් බැරි වුණා. අන්තිමට චිත්‍රපටියෙ අධ්‍යක්ෂකගෙ හොර ගෑනි වෙලා දරුවෙකුත් එක්ක තනි වෙන්න වුණා… කොහොම වුණත් මට මේ කතාව කියලා මගේ හිත නිදහස් කර ගන්න ලොකු ඕනෑකමක් තිබුණා… දැන් මම නිදහස්…”

“නිදහස්…? ඒ කියන්නේ දැන් ඔයා ඔයාට වෙච්ච වැරැද්දම රස්සාවක් කරගෙන ඉන්නවා කියන එකද…?”

“අපොයි නෑ… දැන් මට නැතිවෙච්ච කිසි දෙයක් මගේ ළමයාට දෙන්න බැරි හින්දා මම මුළු ලෝකෙන්ම වහන් වෙලා කාත් කවුරුවත් දන්නෙ නැති තැනක කුලී ගේක නැවතිලා පොඩි තැනක පුංචි පඩියකට රස්සාවක් කරනවා. ඒකට වෙලාවට යන්න තමයි එදා මම ඔයාගේ වාහනයට අත දැම්මේ…”

“ඒක නෙමෙයි… කෝ ඔයාගේ ඇඳුම්…? ඔන්න ඔක්කොම ගැලවිලා… නූල් පොටක්වත් නැතිව ඔයා ඉන්නේ නිරුවතින්… ”

“ඔව් මේ දැන් මම ලෝකෙටම නිරුවත් වෙලා ඉවරයි. ඒත් ඔයාට පේන්නේ නෑ… දැන් ඔයා ඉන්නෙත් ඇගේ නූල් පොටක්වත් නැතිව නිරුවතින්…”

“මම… ඒ කොහොමද…?”

“ඔයා එකම එක දවසක් ඔයාගේ මනුස්සකමට මාව කාර් එකේ එක්ක ගිය හින්දා…”

“ඒක හරිම පුදුම කතාවක්නෙ. ඔයා එකම එක දවසක් කාර් එකේ එක්ක ගිය එක ඇත්ත… අනෙක මම ඔයාව කාර් එකට නග්ග ගත්තේ ඔයා අත දාලා නවත්තපු හින්දා…”

“ඇත්තටම මම කාර් එක නැවැත්තුවෙ මම ලොකු ප්‍රශ්නයක පැටලිලා හින්දා… ඒ වෙද්දි මගේ එකම ළමයා හිටියේ හොඳටම අමාරු වෙලා ඉස්පිරිතාලේ… මම ඒ ළමයවත් බලාගෙන ඉක්මනට වැඩට යන්න ඕනෑ හින්දයි අත දැම්මෙ… මම ඉන්තේරුවෙන්ම දන්නවා ඔයා යන දිහාව…”

“මේ මොනවා වුණත් මටනම් මේ මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ… අද උදේ ගෙයින් එළියට එද්දී ගෙදර ගෑනි වුණත් මගේ මූණ දිහාවත් බැලුවේ නෑ… ළමයින්ගෙ වුණත් කිසිම පිරියක් තිබුණ පාටක් තිබුණෙ නෑ… මට මේ වෙලාවෙ ඔයා හම්බ වුණේ කොහොමද කියන එකත් ලොකු ප්‍රශ්නයක්…”

“ඔයාට තවමත් ඔයා ඉන්න තත්ත්වය තේරුම් ගන්න බැරිවෙලා… එන්න මම ඔයාට පෙන්නන්නම්…”

තවත් තත්ත්පර කීපයක් යද්දී තමන්ට කිසියම් අමුත්තක් වන බවක් ඔහුට දැනෙන්නට විය. ඇයත් සමඟ ඔහු ඔහේ පාවී ගියාක් මෙන් දැනෙන්නට විය. ඒ සමඟම ඔහු නතර වූයේ පැල්පත් ගොන්නක් අතරින් වූ කුඩා නිවහනක් ළඟය. සුදු කොඩියක් සමඟ මළ ගෙදරක බැනරයක් විය.

අනිච්චාවත සංඛාරා… නිරංගා විජේසිංහ.

මේ මෙතුවක් වේලා කතා කරමින් සිටි ඇයයි. ඇයගේ රූපය ද එහි හරි මැදින්ම වෙයි. වීරරත්න හැරී ඇගේ මුහුණ දෙස බැලුවේය. ඇයගේ මුහුණ සුදුමැලිව තිබිණි. කම්මුල් එහෙම පිටින්ම පාණ්ඩු පැහැ ගැන්වී ඇත.

“නිරංගා… ඔයා මැරිලා…”

“මම විතරක් නෙමෙයි… ඔයත් මැරිලා… ”

“මමත් මැරිලා…?

“මේ බලන්න…. රටේ ලෝකෙ මිනිස්සු හුඟක් තීන්දු තීරණ ගන්නෙ පිටින් බලලයි. මතු පිටින් පේන්න තියෙන දේවල් තම තමන්ගේ මතවාදවලට වගේම තමන්ට වාසි පැත්තට හරවා ගෙනයි…. මේවා කොච්චර වැරදිද කියලා කාට වුණත් තේරෙන්නේ තමන් ඒ අවස්ථාවට මුහුණ දුන්න වෙලාවටයි. ඒත් ඒ වෙනකොට හුඟක් දෙනෙකුට පරක්කු වැඩියි. සමහර වැරදීම් ආයෙ කොයිම දවසකවත් මොනම විදියකටවත් හරි ගස්සන්නත් බෑ…. හරි ගැස්සුවත් ගොඩක් මිනිස්සු කැමැති නෑ ඒවා පිළිගන්න. ඒ කොයික වුණත් මේ වෙද්දී ඔයාට මොකද වුණේ කියන එක ඔයාට තේරුම් ගන්න බැරිවෙලා තියෙන එක මටත් ලොකු ප්‍රශ්නයක්. මොනවා වුණත් ඉන්න මං ඔයාට වෙලා තියෙන දේ පෙන්වන්න… එන්න මං එක්ක යන්න.”

තවත් නිමේෂයක් ගත වෙද්දී වීරරත්න සිටියේ ඔහුගේ නිවෙස අසලය. ඔහු අඩි කිහිපයක් ඇවිද ගියේ මෙතුවක් වේලා ඔහු සමඟ රැඳී සිටි ඇය කොහේදැයි සොයා බැලීමටය. පෙනෙන මානයකවත් ඇය දක්නට නොවිණි.

“මේ මෙතැන ගෙදර මිනිහා තමයි අර පහුගිය දවස්වල ටීවී රේඩියෝවල ගිය නිවුස් එකේ මනුස්සයා…”

“මොන මිනිහද…?”

“අර හොර ගෑනියෙක් එක්ක ගිහින්. කාර් එක කෝච්චියේ හැප්පුණේ…”

“මෝඩ යක්කු…”

ඔහු තවත් පියවර කිහිපයක් ඉදිරියට යද්දී ගමට එමින් සිටි ආගන්තුකයකුට ගමේම මිනිසකු කියනු වීරරත්නට ඇසුණේය. වීරරත්නට තවමත් තමන්ගේ නිවෙස ඇතුළට යාමට ඕනෑකමක් නොවිණි. ඔහු තවත් පියවර කිහිපයක් ඇදී ගියේ අල්ලපු ගෙදර පැත්තටය. අසල්වැසි නිවසේ පත්තරය තවමත් පුටුව මත්තේම විය. එහෙත් එක් වෙනසක් පමණක් සිදුව තිබිණි. ඒ දෙකට නැවී තිබුණු පත්තරය අනෙක් පැත්ත හැරී තිබීමය. එක්වරම දුටු දෙයින් ඔහු අන්ද මන්ද වී ගියාක් වැනිය. තමන්ගේ ඡායාරූපයක් ද එහි විය. තමන්ගේ තරුණ කාලයේ වූ පින්තූරයට යටින් නම ද විය.

වීරරත්නගේ මතකයට ආවේ ඉක්මනින් වැඩට යාමට පැමිණෙද්දී අතරමගදී ගොඩ වුණ නන්නාඳුනන ඇයත් සමඟ තමන් වැඩට යාමට පදවා ගෙන ආ මෝටර් රථය කාර්මික දෝෂයකින් කොහෙත්ම නොසිතූ අයුරින් දුම්රිය පාරක් ළඟදී එක්වරම නතර වුණ බවය. එයින් පසු වූ හැම දෙයක්ම ඔහුගේ මතකයෙන් බැහැර වී තිබිණි.

මද සුළං රැල්ලට හසුව ඒ මේ අත නළියමින් තිබුණු පත්තරයේ මුල් පිටුවේ වූ සිරස්තලය ඔහුට අදහාගත නොහැකි විය.

“සීනුව නාද වෙද්දී රේල් පාරට දාලා.

දුම්රියක කාරයක් ගැටී යුවළක් මරුට

අනියම් පෙමක ආරවුලකට දෙන්නාම දිවි නසා ගත්තා දැයි සැකයක්”

https://www.dinamina.lk/2024/10/10/featured/130804/%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%99%e0%b6%9a%e0%b7%8a/?fbclid=IwY2xjawF1NU9leHRuA2FlbQIxMQABHdRPQeHcHQ0fzMMLlkfiDfsB6RcPx331bzQESlhUN2JA6hn4JSKvsjX_TQ_aem_tg4U6OS0tru4nMVMekucJQ&mibextid=NOb6eG

Nissanka Rajapaksa

unread,
Oct 11, 2024, 9:01:45 PM10/11/24
to INDRAKA group
44

ඓතිහාසික අත්වැරැද්දක්!

රන්ජන් අමරරත්න

යූසුෆ් අලිඛාන් තම ගුදිරිය හතරට නවා පරෙස්සමට අල්මාරියේ තැන්පත් කළේය. එහි අර්ථය වන්නේ ශීත කාලය පැමිණ ඇති බවය. එවිට ගුදිරිවල, හිස්වැසුම්වල හා ලොම් කබාවල අගය කාටත් හොඳ හැටි දැනෙයි. අලිඛාන් පරණ පුකුරුවකට අත තබා තරමක් විශාල රටඉඳියක් තෝරාගෙන එය කටේ දමා ගත්තේය. පැණි බේරෙන රටඉඳිය නිසා ඔහුගේ මුඛය දෙපසින් කෙළ වැගිරෙන්නට විය. එය අප්‍රසන්න දර්ශනයකි. එහෙත් යූසුෆ් අලිඛාන් එවැන්නක් නොදන්නා සේ මුළුතැන්ගෙය දෙසින් නැඟෙන රොටී සුවඳට ඉව අල්ලන්නට පටන් ගත්තේය.

අලිඛාන් වනාහි දිනකට පස් වතාවක් දෙවියන් යදින නියම භක්තිවන්තයෙකි. ඔහුගේ නළල කළු පැහැති ඉරකින් සමන්විත වන්නේ ඊට සාක්‍ෂියක් ලෙසිනි. ඔහු දවසේ අරුණාලෝකය දකින්නේ පළමු යාඥාවත් සමඟය. එහෙත් අද ඒ සියල්ල අමතක වූ නියාවකි. හෙතෙම තමාටම  ‍ෙදාස් නඟමින් තු–! ගා රටඉඳිය ඉවත දැම්මේය. කෙණ්ඩියකින් වතුර ගෙන කට සෝදා ගත්තේය. ඉනික්බිති තෙවරක් නළල බිම ඔබා යාඥාව පටන් ගත්තේය.

යූසුෆ් අද උදෑසනම ටෙහෙරාන් සතිපොළට යා යුතුව තිබිණි. එහෙත් මේ වනතුරුද ඊට සූදානමක් නැත. පළමුව බූරුවන් දෙදෙනාට කෑම සපයා උන් තෘප්තිමත් කළ යුතුය. බූරුවන් කුසගින්නේ බර අදින්නේ නැත. දෙවනුව කරත්තය සෝදිසි කොට එහි රෝදවලට තෙල් දැමිය යුතුය. කරත්තය පදින්නේ තෙල් සාත්තුවේ තරමටය. තෙවනුව පොළට ගෙන යන බඩු-භාණ්ඩ, ලී තට්ටුව මත තබා තදින් ගැට ගැසිය යුතුය. එසේ නොවන්නට පාර පුරා බඩු හැලෙන්නට පුළුවන.

යූසුෆ් අලිඛාන් සතිපොළට රැගෙන යන්නේ දෙළුම්, ‍ෙදාඩම්, ඇපල්, ඇප්‍රිකට් වැනි පලතුරු වර්ග හා ජුම්මාගේ බුමුතුරුණුය. ටෙහෙරාන් වැසියන්ට පලතුරුවලින් හිඟයක් නැත. ඒ අනුව පලතුරුවලට වැඩි ඉල්ලුමක්ද නැත. ටෙහෙරාන් සතිපොළට ඇතුළු වන ප්‍රධාන  ‍⁣ෙදාරටුව ළඟ පැණි බේරෙන රටඉඳි බේසමක්ද,  ‍ෙදාඩම් යුෂ කෙණ්ඩියක්ද තබා ඇත්තේ කොයි කාටත් නොමිලේ භුක්ති විඳීම සඳහාය. යාන්තමට අලිඛාන්ගේ ජාම බේරෙන්නේ ජුම්මාගේ බුමුතුරුණු නිසාය. විදේශීය සංචාරකයෝ වැඩි කේවල් කිරීමකින් තොරව ඒවා මිලට ගනිති. ඒ හැරෙන්නට බුමුතුරුණුවල හැඩය, වර්ණය හා මෝස්තර ගැන කතා කරති. පලතුරු හා බුමුතුරුණු හැරෙන්නට කෞතුක වස්තුවක්ද දැන් අලිඛාන් සතුය. එය ජුම්මාට අහම්බෙන් හමුවූ පිළිමයකි.

එය සෙ.මී. හයක් පමණ උසින් යුතු අශ්වාරෝහකයකුගෙන් සමන්විත ප්‍රතාපවත් පෙනුමකින් යුතු පිළිමයකි. අශ්වාරෝහකයා ආරෝහ පරිණාහ දේහයෙන් යුතුය. ප්‍රභූවරයකු හෝ සෙන්පතියකු හෝ විය හැකිය. ඉණෙහි දිග කඩුවක් රැඳී ඇත. එක් අතෙක ධජයක්ද තිබේ. අලිඛාන්ට මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා සිහිපත් වෙයි. එහෙත් පිළිමය කවර යුගයකට අයත්ද? එය කුමන ලෝහයකින් නිර්මිතද යන්න ගැන නිශ්චිත වැටහීමක් ඔහුට නැත. අලිඛාන්ට ඇත්තේ පර්සියානු මහා ශිෂ්ටාචාරය පිළිබඳ ගෞරවයක් හා ආදරයක් පමණි. ජුම්මාගේ අදහසට අනුව පිළිමය තනි රත්තරන්ය. පිළිම අභ්‍යන්තරයෙන් දියමන්ති, මැණික් වැනි වටිනා ඛනිජ සම්පත් තැන්පත් කර තිබේ. ඒ අනුව එහි වටිනාකම ඩොලර් ලක්‍ෂ ගණනකි.

“අපි මේක ටෙහෙරාන් කටුගෙට භාර දෙමු! දෙපාර්තමේන්තුවෙන් සහතිකයක් වුණත් දෙන්ඩ බැරිකමක් නෑ”

අලිඛාන් සිය බිරියට යෝජනා කළේය. නිරන්තරයෙන්ම තම සැමියා කෙරෙහි අඩු ලන්සුවකින් ක්‍රියා කරන ජුම්මා යෝජනාවෙන් බලවත් සේ කෝපයට පත් වූවාය.

“ඔහේට පිස්සුද? පිටරට සංචාරකයෝ මේවට වහ වැටිලා! ඩොලර් ලක්‍ෂ ගණනකට වුණත් ගන්ඩ බැරිකමක් නෑ!”

“ඕවා අපේ ජාතික වස්තු. ශිෂ්ටාචාරයේ සංකේත! ජාතික උරුමය විදේශිකයන්ට දෙන්ඩ පුළුවන්ද? ඒක අපරාධයක්!”

“ජාතික වස්තු! උරුමය! ශිෂ්ටාචාරය! ඕවා කන්ඩද මනුස්සයෝ!? අපි රොටියක් හදාගන්ඩ කොච්චර වද විඳිනවද? ඉරාක යුද්ධෙ වෙලාවේදි බැග්ඩෑඩ්වල පරණ ටින් බෙලෙක්කත් හොඳ ගණනකට දුන්නලු! රට හදන්ඩ කලින් අපි හැදෙන්ඩ ඕනෑ”

“පර්සියන් මහා ශිෂ්ටාචාරය ගැන අපි ආඩම්බර වෙන්ඩ ඕනෑ! ටෙහෙරාන් කටුගෙට ගිහින් බලනවා! ඒකෙ තියෙනවා “සෝල්ට් මෑන්” කියලා මමියක්. ඒක අවුරුදු හයදහස් ගණනක් පරණයි. එහෙම මමියක් ලෝකෙ කොතැනකවත් නෑ! තමන්ට අපේ දේවල් ගැන අගයක් නෑ! ඒක වස වැරැද්දක්!”

“මට ඔය පුරාජේරු කතාවලින් වැඩක් නෑ! පිළිමෙ මගේ! ඒක අයිති මට! ඒ ගැන තීන්දු ගන්නෙ මම! විකුණන්ඩ පුළුවන් දේවල් විකුණන්ඩ ඕනෑ! ඒක අපරාධයක් නෙවෙයි. ඔහේට බැරිනම්; පැත්තකට වෙලා ඉන්නවා! මම අදම අපේ පපාට කතා කරනවා!”

“පපාට නෙමෙයි, ජනාධිපතිට කිව්වත් මට බෑ ජාතික අපරාධවලට හවුල් වෙන්ඩ!”

“මෝඩ වෙන්න එපා! මේක දෙයියො දුන්නු තෑග්ගක්!”

“දෙයියො තෑගි දෙන්නෙ විකුණන්ඩද ගෑනියේ!?”

යූසුෆ් අලිඛාන් සිනාසෙන්නට වූ අතර ජුම්මා කේන්තියෙන් කෑගසන්නට වූවාය. ඇගේ හඬ ක්‍රමයෙන් තීව්‍ර විය. අලිඛාන් සුපුරුදු ලෙස පසු බැස්සේය. “හරි! පුළුවන් දෙයක් කරන්ඩ බලමු!” යැයි යූසුෆ් සිය බිරිය සමඟ එකඟතාවකට පැමිණියේය. ගැටුම එතෙකින් සමථයකට පත්වුවද විරසකය අළුයට ගිනි පුපුරු සේ පැවැතිණි.

යූසුෆ් උදෑසන ආහාරය නිමවා සතිපොළට පිටත්වීම සඳහා  ‍ෙදාරට බැස්සා පමණි. ඥාති පිරිසක් නිවෙසට කඩා වැදුණාහ. ඒ ජුම්මාගේ මහගෙදර ඇත්තෝය. මව – පියා ඇතුළු සියලු සහෝදර සහෝදරියෝ එතැන උන්හ. සෙනඟ කන්දරාවේ තරමට එම නිවෙස ඔරොත්තු නොදෙන තරම් විය. අලිඛාන් තමන්ගේ සියලු කටයුතු නවත්වා සිදුවන්නේ කුමක්දැයි විස්මයෙන් බලා සිටියේය. සමහරු ගෙමිදුලේ සිට හිස් අහස දෙස බලා උන්හ. තව සමහරු නිවෙසේ බිත්ති කොනහමින්  කුමක් හෝ කතා කරන්නට බලා උන්හ. තවත් සමහරු මුළුතැන්ගෙට එබිකම් කරමින් ජුම්මා සොයන්නට පටන් ගත්හ. නිහඬතාව බිඳිමින් සංවාදය ආරම්භ කළේ ජුම්මාගේ පප්පාය.

“මේක බොහොම නරක කාලයක් යූසුෆ්. යක්ෂයෝ එළියට ඇවිත්! සුදු බැටළුවො හිටපු ගමන් කළු වෙනවා! හිටිහැටියේ හිම කුණාටු හමනවා! බොහෝම කල්පනාවෙන්, පරෙස්සමට වැඩ කරන්න ඕනෑ!”

“අංකල් කියන්නේ දේශපාලනේ ගැනද? ඒ ගැන වද වෙන්ඩ එපා ආර්යයන්ගේ රාජ්‍යයට කාටවත් අත තියන්ඩ බෑ!”

“දේශපාලනයක් නෙමෙයි පුතා! මං කියන්නෙ අපි ගැන! අපේ ජීවිත ගැන! කිසිකෙනෙක් ළඟ දියුණුවක් නෑ! සේරම පාඩුවට බිස්නස් කරන හම්පඩ වෙළෙන්‍ෙදා විතරයි!”

“ඔච්චර පසුගාමී වෙන්ඩ එපා අංකල්! ටිකක් පොසිටිව් විදිහට අපි දිහා බලන්ඩ!”

“ඇමරිකන්කාරයා හොඳ බේ‍රා්කර් කෙනෙක්ලු! ඒක ඇත්ත කතාවක්! මිනිහා දෙපැත්තෙන්ම වාසි ගන්නවා! සාම සාකච්ඡාවලට උදවු කරන ගමන් යුද්දෙට ආයුධත් විකුණනවා! මිනිහට දෙපැත්තෙන්ම ලාභයි!”

“අංකල් අපට කියන්නෙ, ඇමරිකන්කාරයා වගේ වෙන්ඩ කියලද? නැත්නම් මිනිහා කොපි කරන්ඩ කියලද? ඒක නම් කවදාවත්ම සිද්ධ වෙන එකක් නෑ”

“අ-පෝ-යි! මං එහෙම කියන්නෙ නෑ! මං කියන්නෙ අපි මීට වඩා කල්පනාවෙන් අපි ගැන හිතලා මතල වැඩ කරන්ඩ ඕනෑ කියන එකයි. ලාභය ගැන හිතපල්ලා! වාසිය ගැන හිතපල්ලා! ලෝකෙත් එක්ක ඉස්සරහට යන්ඩ ඕනෑ! ඒක අමතක කරන්ඩ බෑ! අපට තනියම දියුණු වෙන්ඩ බෑ!”

“ෂ-ආ-හ්! අංකල් සෑහෙන්ඩ මොඩ් වෙලා! ඔයා ගෝලීයකරණයට අහුවෙලා! ඕකට උත්තර නෑ අංකල්! No Answer! No Solution!”

“හරි! හරි! පුතා, ඔයා රාජකාරිවලට ගොහින් එන්ඩ! අපි පස්සේ කතා කරමු!”

“ඔව් ඒක හොඳයි! කළු කෝපිවලට ඇඟ උණුසුම් වෙනවා!”

ජුම්මා සියල්ල සැලැසුම් කර ඇති බවද ඇය කෙමෙන් සිය ඉලක්කය වෙත ළංවන බවද ඉතා පැහැදිලිය. මිනිසා කොයි කොදෙව්වක ජීවත් වන්නේ වුව අරමුණු හා ඉලක්කවලින් බැහැර වන්නේ නැත. එකෙකා එම ඉලක්ක ජය ගැනීම සඳහා විවිධ උපාය මාර්ග භාවිත කරති. ඇතැම් ඉලක්ක ජයගත හැකිය. ඇතැම් ඉලක්ක ජය ගත නොහැකිය. මේ යථාර්ථයට අනුව ජුම්මාට  ‍ෙදාස් නැඟිය නොහැකිය. ඇය දෙස මධ්‍යස්ථ දෘෂ්ටියකින් බලන්නට අලිඛාන් හිත හදාගත්තේය.

පුරාජේරු – විච්චූර්ණ ජීවිත අලිඛාන්ට ගැළපෙන්නේ නැත. ඔහු ව්‍යාජ ලෝකයට වෛර කළේය. ආර්යයන්ගේ දේශය එලෙසින්ම පැවැතිය යුතුය. අලිඛාන් – අලිඛාන් ලෙසම ජීවත් විය යුතුය. ඉන් එහා ලෝකයක් යූසුෆ්ට අවශ්‍ය නැත.

ඔහු ගැඹුරු හුස්මක් ගෙන කරත්තය දෙසට පිය මැන්නේය. අලිඛාන් කරත්තයට ගොඩවී ගමනට සූදානම් වෙත්ම ජුම්මා සෙනඟ අතරින් ඔහු ඉදිරියට පැමිණියේ වටිනා කළාලයකින් ඔතන ලද කෞතුක වස්තුවද දෝතින් රැගෙනය. ජුම්මා මහත් ගෞරවයෙන් යුතුව එම වස්තුව අලිඛාන් වෙත පැවරුවාය.

බොහෝ කාලයකට පසුව දෙදෙනාගේ දෑස් එකිනෙකාට සම්මුඛ වී ඇත. ජුම්මාගේ නිල් පැහැති දෑසෙහි රැඳුණු තෙතමනය අලිඛාන් දුටුවේය. ඇගේ දෙතොල්හි රැඳී ඇති තාරුණ්‍ය හා දෙකම්මුල්වලින් එළියට පනින පිරුණු ආකර්ෂණීය ගතිය ඔහු කුල්මත් කළේය. අලිඛාන් හැබෑවටම තම බිරිය ගැන ආඩම්බර විය.

“පරෙස්සමට!” ඇය කෙඳිරුවාය.

“බය වෙන්ඩ එපා! සේරම හරියයි!” ඔහු පෙරළා උත්තර බැන්දේය.

කරත්තය පිටත් විය. එය ආරම්භයේ සිටම වේගයෙන් ඉදිරියට ඇදෙන බව දැකගත හැකිවිය. සියලු දෙනා කරත්තය දෙස බලා උන්හ. එය නොපෙනී යන තුරුම බලා උන්හ.

යූසුෆ් අලිඛාන්ට කුඩා කාලයේ සිටම එක්තරා සිහිනයක් තිබිණි. එම සිහිනයේ මධ්‍ය ලක්‍ෂ්‍යය වූයේ ඉරානයට උතුරු දෙසින් පිහිටි කැස්පියන් මුහුදය. ආර්මේනියාවේ සුදෝසුදු – විනිවිද පෙනෙනසුලු හිම තට්ටු තරණය කොට කැස්පියන් මුහුදු වෙරළ වෙත සේන්දු වීමේ දැඩි ආශාවක් ඔහුට තිබිණි. කැස්පියන් මුහුදේ තද නිල් පැහැති ලවණ මිශ්‍ර ජලස්කන්ධයට අලිඛාන් ආදරය කළේය. දූවිල්ලට සමාන සිහින් වැල්ල සහිත වෙරළ ඉමටත් ඔහු ආදරය කළේය. එම වැල්ලෙහි උඩුබැලි අතට වැතිරී වම් කකුල මත දකුණු කකුල තබා දෙපැත්තට පැද්දෙමින් නිල් අහස දෙස බලා සිටින්නට ඔහු සිහින මැව්වේය.

කරත්තය වේගයෙන් ඉදිරියට ඇදුණු අතර ඔහුගේ පරිකල්පනා ලෝකය ඊට වැඩි වේගයකින් ගමන් කළේය. කැස්පියන් මුහුදේ නිල් ජල තටාකය ඔහු දුටුවේය. එහි රළ පන්ති නඟන බොක – බොක හඬ ඔහුට ඇසුණේය. කෙතරම් ආශ්චර්යවත් මොහොතක්ද? බූරුවෝ කරත්තය ඇදගෙන යා යුතු දිශානතිය නොදත්හ. ඒ නිසා සතිපොළට ඇතුළු වන ප්‍රධාන ‍ෙදාරටුව පසු විය. බූරුවන්ට හෝ අලිඛාන්ට හෝ නිශ්චිත ඉලක්කයක් තිබුණේ නැත.

https://mawbima.lk/2024/07/13/%E0%B6%93%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A/


Nissanka Rajapaksa

unread,
Oct 12, 2024, 9:09:57 PM10/12/24
to INDRAKA group
45
සැඩ සුළං මැද මද පවනක් 

- දික්වැල්ලේ එම්.ජී.එම්. කමාල්

පරිවර්තනය
  ජී. ජී. සරත් ආනන්ද
 
වෙසක් උත්සවයේ ආශ්චර්යය ගම පුරා දෝරේ ගලමින් පැතිර ගියේය. සිංහල ජනතාවගේ නිවෙස් ඉදිරිපිට අලංකාරවත් වෙසක් කූඩු දර්ශනය විය. රාත‍්‍රි කාලයේ පහන් දැල්වූ විට ඒවා තවත් අලංකාර වනු ඇත.
 
 මේ අතරේ පාන්, මාළු, එළවළු ආදිය අලෙවි කරන සුළු ව්‍යාපාරිකයන්ගේ පැමිණීම ක‍්‍රමයෙන් අඩුවිය. මේ හේතුවෙන් ඇතිවිය හැකි දුෂ්කරතා මඟහරවා ගැනීමට කාන්තාවෝ යුහුසුලූ වූහ.
 
 ඒ අභාග්‍යසම්පන්න සිදුවීම මහ සැඩ සුළඟක් සේ රට පුරා ව්‍යාප්තවීම ඇරඹෙන්නේ මෙවන් තත්ත්වයක් පවතිද්දී ය.
 
 ‘‘මාවනැල්ලේ කලබල..
 
 ‘‘කඩවල් සීයකට වඩා ගිනි තියලා...
 
 ‘‘මුස්ලිම් පල්ලි ඔක්කොම විනාශ කරලා...
 
 ‘‘කාර්වලට, වෑන්වලට විශාල අලාභහානි...
 
 ‘‘ගෙවල්වලට පෙට‍්‍රල් බෝම්බ ගහල...
 
 එදින ගුවන් විදුලි හා රූපවාහිනී ප‍්‍රවෘත්ති මගින් කලබලකාරී හැඟීම් තවත් උත්සන්න කෙරිණ. මෙම තත්ත්වය ක‍්‍රම ක‍්‍රමයෙන් සෑම ස්ථානයකටම පැතිර යා හැකිය යන භීතිය සිත්පුරා අරක් ගත්තේය. මේ සම්බන්ධයෙන් රජය මගින් ගන්නා ලද තීරණ නිසි පරිදි ක‍්‍රියාත්මක වන බව ද වාර්තා විය.
 
 ඒ කුඩා ගම්මානයේ මුස්ලිම් ජනතාව දහසක් පමණ ජීවත් වෙති. මේ කලබලකාරී තත්ත්වය හේතුවෙන් එහි ජීවත්වන ජනතාව ද කම්පනයට හා නොසන්සුන්තාවට පත්වූහ.
 
 උපෛදු නානාගේ රුධිරය උණුසුම් විය. සිදු නොවිය යුතු දෙයක් මෙහි සිදුවුවහොත් කරන්නේ කුමක්ද? එහෙ මෙහෙ රස්තියාදුවෙමින් දුක සේ යමක් උපයාගෙන කා ජීවත්වන මිනිසුන්ට පිළිසරණක් නොමැති වුවහොත්...
 
 සවස යාඥාව නිමාකර පල්ලියේ සිට පිටතට පැමිණි උපෛදු නානාට දක්නට ලැබුණේ ගමේ මිනිසුන් තැන් තැන්වල එක්රැස් වෙමින් කතාබහේ නියැළී සිටින ආකාරයයි. ඔහුට පමණක් හුදෙකලාවේ සිටිය හැකිද? ඔහුද ගම්වැසියන්ගේ හැඟීම් පිළිබඳව අවබෝධ කරගත යුතු නොවේද?
 
 ඔහු රැස්ව සිටි කණ්ඩායමක් අතරට සෙමින් සෙමින් සෙන්දු විය.
 
 ‘‘කප්පන් ඉල්ලල කරදරේලූ මචං. උදෙන්ම සෙට් කරල ගහපු ගේමක්. පොලිසිය පොඞ්ඩක්වත් ගාණකට අරගෙන නෑ...
 
 ‘‘ඔව් මචං. ලොරිවලින් මිනිස්සු ගෙනල්ල ගෙනල්ල බස්සල. පරණ ටයර් ගොඩකුත් අරගෙනලූ ඇවිත් ිතියෙන්නෙ...
 
 ‘‘කලින් දන්නව නම් අපේ අයත් නිකම් ඉන්නෙ නෑ..
 
 ‘‘හරි අපි දැන් ලෑස්ති පිට ඉන්න ඕන. හැම ගමකම ආයුධ තියාගන්න ඕන. දැන් එන්න එන්නම කරදර..
 
 මේ තරුණ ගැටව් කතා කරන වදන් ඇසුණු විට උපෛදු නානාගේ කෝපය උත්සන්න විය. ඔහුගේ වයසින් අඩක්වත් ඔවුන්ට නොමැත. ඔහු ඔවුන්ගෙන් වෙන් වී ඉදිරියට එන අතරේ තවත් කිහිපදෙනෙක් රැස්ව කතාබහේ නියැළෙනු පෙනුණි. උපෛදු නානා ඒ ආසන්නටය ද ගොස් සවන් දුන්නේ ය.
 
 ‘‘අපේ ගමේ ඔය වගේ කලබල ඇතිවුණොත් පාරවල් හතර පහම අවහිර කරන්න ඕන. එතකොට හරි. ඔක්කොම ගම ඇතුළෙ. දවස් තුනෙන් ප‍්‍රශ්නෙ විසඳගන්න පුළුවන්...
 
 ‘‘ගම ඇතුළෙ අනිවාර්යයෙන්ම පාන් බේකරියකුයි, මෝලකුයි, සිල්ලර කඬේකුයි දාන්න ඕන. එතකොට ටික දවසක් අවශ්‍යතා පිරිමහගන්න පුළුවන්...
 
 ‘‘සල්ලිකාරයො පාන් බේකරියි, මිරිස් මෝලූයි දාගනීවි. අපි නිකන් කතාකරනව විතරයි...
 
 ‘‘අපි අදයි හෙටයි විතරයි නේ කතා කරන්නේ. කරදර අවසන් වෙනකොට අපිටත් ඔක්කොම අමතක වෙනව...
 
 උපෛදු නානාගේ මුවෙහි සිනහවක් මතුවිය. සියලූදෙනා මහ ලොකු පුරාජේරු කතා කරනවා පමණි. මෙසේ රැස් වී කතාබහ කර බුද්ධිමත් තීන්දු තීරණ ගැනීමේ පුරුද්දක් තිබුණේ නම් සියලූ ප‍්‍රශ්න එක්සත්ව විසඳා ගැනීමට හැකියාව තිබුණා නොවේද?
 
 තේ කඩයක් අසල තවත් කණ්ඩායමකගේ සාකච්ඡාවකි. උපෛදු නානා එය ද අත්හැර ගියේ නැත.
 
 ‘‘දැන් වෙසක් කාලෙ නේ මචං. නිවාඩුත් දෙනව. හැමෝම ගමේ ගෙවල්වල තමයි ඉන්නේ. අපි මෙහෙම එකතුවෙලා කතා කරනව වගේ උනුත් කතා කර ගන්නව ඇති. සෙට්වෙලා ආවොත් මොකද කරන්නේ?..
 
 ‘‘ඔව් නිකන් මැරෙන එකේ එකෙක් දෙන්නෙක් හරි මරාගෙන මැරෙන එක හොඳයි. ටික දවසක් යනකල් අපි රංචු ගැහෙන්න හොඳ නෑ. විමසිල්ලෙන් බලාගෙන ඉන්න ඕන...
 
 ‘‘ගෑනු කෙනෙක් නම් මිරිස් කුඩු වතුරෙ දිය කරල මුණට ඉහින්න ඕන..
 
 මොවුන්ගේ මේ පුහු වීරත්වය තවදුරටත් අසා සිටීමට උපෛදු නානා කැමැති වූයේ නැත. නැති ප‍්‍රශ්න ඇති නොකර සිටීම හොඳටම ප‍්‍රමාණවත් යැයි ඔහුට සිතුණි.
 
 කලබලකාරී තත්ත්වය පහව ගොස් ඇතියි ගුවන් විදුලියේ ප‍්‍රවෘත්ති මගින් ප‍්‍රචාරය විය. එහෙත් සන්නිවේදන මාධ්‍ය ඉක්මවා ගිය කටකතා ප‍්‍රචාරය මිනිසුන් කලබලයට පත් කළේය.
 
 පල්ලියට වහ වහා රැස් වූ ගමේ ප‍්‍රධාන පුද්ගලයන් කිහිපදෙනෙක් ගතයුතු ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳව උපදෙස් දුන්නෝය. වහාම රජයේ නියෝජිතයෝත්, පොලිසියත්, බෞද්ධ විහාරස්ථාන සමග සම්බන්ධ වෙමින් නව ක‍්‍රියාමාර්ග අනුගමනය කිරීමට කටයුතු යොදන බව සැලවීමෙන් තෘප්තියට පත් උපෛදු නානා නිවසට පැමිණියේය.
 
 අහසේ සුපුන් සඳ බැබළුණි. එහි රිදීවන් රැස් දහරා ගස් මුදුන්හි දලූපත් අතරේ ලෙළදුනි. සියලූ නිවෙස් සන්සුන් වෙමින් තිබුණ ද ඒ ප‍්‍රදේශයේ පැවැති කැළඹිලි සහගත තත්ත්වය එලෙසම පැවතුණි.
 
 ‘‘වේලපහෙන් ලයිට් නිවල දාල නිදාගත්තොත් හොඳයි නේද?..
 
 ඔහුගේ බිරිඳ ප‍්‍රශ්න කළේ බියමුසු හැඟීමෙනි.
 
 ‘‘එහෙම බයවෙන්න කිසිම දෙයක් මෙහේ වෙලා නෑ..
 
 උපෛදු නාානා තීරණාත්මක ස්වරයෙන් පැවැසීය.
 
 ‘‘ඔයා එහෙම කිව්වට ගෑනු අය කතා කරන දේවල් මට ඇහුණා...
 
 ‘‘ගෑනු අය විතරක් නෙවෙයි පිරිමිත් කතා කර කර හිටියෙ භයානක විදියේ දේවල්...
 
 උපෛදු නානාගේ නිවස ඒ පටුමගේ පිහිටි දෙවැනි නිවසයි. පළමු නිවස පියමන් කළ විට තාර පාර හමුවේ. එහි එක් පැත්තක් ජේමිස් අප්පුගේ තේ කඩයයි. අනිත් පැත්තේ ඔහුගේ නිවසයි. එය පසු කළ විට සුරනෝලිස් අප්පුගේ නිවස හමු වේ. මෙසේ ආසන්නව නිවාස හතරක් පහක් පිහිටා ඇත.
 
 ඒ නිවැසියෝ ද පසුවූයේ දැඩි බියකිනි. එහෙත් සුපුරුදු ලෙස වෙසක් පහන් දල්වා නිවෙස් ඉදිරිපිට අලංකාර කිරීමට ඔවුහු අමතක නොකළහ. කෙසේ වුවත් මෙවර වෙනදාට වඩා වෙසක් පහන් සංඛ්‍යාව අඩුය.
 
 ‘‘ම්..... ඔව්. හැම එකාම පාළු ගෙයි වළං බිඳින්නො තමයි. වෙච්ච දේ වුණා. කවුරුත් එකතු වෙලා තව දුරටත් මේ වගේ දේවල් සිදු නොවෙන තැනට කටයුතු කරන්න ඕන. නිකන් චණ්ඩිකම් කතා කරල වැඩක් තියෙනවද?
 
 ඒ ප‍්‍රකාශයට ඔහුගේ බිරිඳ ප‍්‍රිය කළාය.
 
 ‘‘ඇත්ත තමයි අපි ටිකක් නිහඬව ඉවසීමෙන් ඉන්න ඕන. එයාල අපිත් එක්ක රණ්ඩුවට ආවත්, අපි එයාල එක්ක රණ්ඩුවට ගියත් අන්තිමට පීඩාවට පත්වෙන්නෙ අපිම තමයි...
 
 ‘‘හරි හරි. යමු නිදාගන්න...
 
 ‘‘ඔය කතා ඇහුණොත් මොහොතකින් ගමම කුලප්පු වෙනවා...
 
 කිසිවෙක් හඬනගා කතා කළත් උපෛදු නානාගේ සිතේ ජනිත වන්නේ බිය මුසු හැඟීම්ය. එහෙත් එය පිටතට ප‍්‍රදර්ශනය කර සිය බිරිඳ තවදුරටත් දුර්වල කිරීමට ඔහු කැමැති වූයේ නැත. ඔවුහු රාත‍්‍රිය ගත කළේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයකිනි.
 
 උදෑසන යාඥාව සිදුකළේද නැද්ද යන්න පිළිබඳව පවා උපෛදු නානා තුළ වූයේ සැකයකි.
 
 අහස දීප්තිමත් පැහැයෙන් අලංකාරව බබළයි. ඈත පන්සලකින් නැෙඟන ඝණ්ටා නාදයක් ඔවුන්ගේ සවනට වැකුණි. ඒ උදාවූයේ වෙසක් දිනයයි.
 
 කිසිදු විශේෂ සිදුවීමක් වූ බවට වාර්තා නොවුණි.
 
 වෙලාව උදෑසන හතට පමණය.
 
 ‘‘ඩොක් ඩොක්...
 
 ඉදිරිපස දොරට තට්ටු කරන හඬකි.
 
 උපෛදු නාානා දොර විවෘත කළේය.
 
 ජේමිස් අප්පුගේ බිරිඳ දියණිය ද සමග පැමිණ සිනාසෙමින් දොරටුව ඉදිරියේ හිඳින්නීය. දියණියගේ දෑතේ සුදු රෙදි කඩකින් වසන ලද බඳුනකි.
 
 ‘‘එන්න ඇතුළට..
 
 ඔවුන් පිළිගැනීම සඳහා උපෛදු නානාගේ බිරිඳ ඉදිරියට පැමිණියාය.
 
 රස කැවිලි බඳුනක් පිළිගැන්වුණි.
 
 මඳ වේලාවකින් ඔවුන්ගෙන් සමුගත් ඒ මව හා දියණිය එළියට බැස රාසික් නානාගේ නිවස බලා පිටත්ව ගියහ.
 
 ඔවුන්ට ලැබුණු බඳුන කැවුම්, කොකිස් අළුවා ආදී රස කැවිලිවලින් පිරී ඇත. පළමුවෙන් ම කෑමට ගන්නේ කුමක් දැයි උපෛදු නානා කල්පනා කළේය.
 
 

Nissanka Rajapaksa

unread,
Oct 13, 2024, 9:12:49 PM10/13/24
to INDRAKA group
46

දුරකථන සංවාදයක්

මෙය ඇමෙරිකන් ලේඛක මාක් ට්වනේ විසින් රචිත ‘A Telephonic Conversation’ නමැති කෙටි කතාවේ පරිවර්තනයකි.

පරිවර්තනය – ආචාර්ය
බී. ඵම්. සුජානි බාලසූරිය

සරලව ම ඔබ එම සංවාදයට සහභාගී නොවී එතැන වාඩි වී සිටින විට – නූතන ජීවිතයේ තිබෙන බරපතලම කුතුහලය දනවන කරුණක් බව සලකන්න. ඊයේ මම උත්තරීතර දාර්ශනික විෂයක් ගැන ගැඹුරු ලිපියක් ලියන්නේ එහෙම සංවාදයක් කාමරේ තියෙද්දි. කවුරුහරි දුරකථනයකින් කතා කරද්දි කෙනෙකුට සෑම විටම හොඳින් ලියන්න පුළුවන් බව මම දකින දෙයක්.

හොඳයි, කාරණය ආරම්භ වුණේ මෙහෙමයි. අපේ ගෙදර කෙනෙක් ඇවිත් මගෙන් ඇහුවා අපේ ගෙදර, නගරයේ මැද ඉන්න බැග්ලේ මහත්තයාගේ ගෙදරත් එක්ක සන්නිවේදනය කරලා දෙන්න කියලා. බොහෝ නගරවල, කාන්තාවන් සෑම විටම මධ්‍යම කාර්යාලයට අමතන්න පැකිලෙන බව මම නිරීක්ෂණය කරල තියෙනව. මම දන්නේ නැහැ ඇයි කියලා, නමුත් ඔවුන් එහෙමයි.

ඉතිං මම සීනුව ගැහැව්වට පස්සේ මේ කතාව මෙහෙම සිද්ධ වුණා:

මධ්‍යම කාර්යාලය – (රළු) ආයුබෝවන්!

මම: මේ මධ්‍යම කාර්යාලයද?

මධ්‍යම කාර්යාලය: ඔව් ඒක තමයි. ඔයාට ඕන මොනවද?

මම: කරුණාකරලා මාව බැග්ලේස්ලට දානවද?

මධ්‍යම කාර්යාලය: හරි. ටෙලිෆෝන් ලයින් එකේ ඉන්න.

එතකොට මට ඇහුණා k-look – k-look – kzlook–klook-klook-klook-look-lookæ ඊට පස්සේ භයානක දත්මිටි කෑමක්, අන්තිමට උස් ගැහැණු කටහඬක්:

ඔව්? (ක්‍රමයෙන් වැඩිවෙන ස්වරයෙන්) ඔයාට මට කතා කරන්න ඕන වුණාද?

පිළිතුරු නොදී ම මම දුරකථනය ඉල්ලපු කෙනාට දීල වාඩිවෙලා හිටියා. ඊට පස්සේ ඇහුණේ මේ ලෝකෙ තියෙන විකාර දේවල්වලින් හොඳම විකාර . එක කෙළවරකින් පමණක් ඇහෙන දුරකථන සංවාදයකින්. අහපු ප්‍රශ්න ඔබට ඇසේවි; නමුත් ඔබට පිළිතුර ඇසෙන්නේ නැහැ. කරන ලද ආරාධනා ඔබට ඇසේවි; නමුත් ආපසු ස්තුති කිරීමක් ඇසෙන්නේ නැහැ. පෙනෙන විදියටම අදාළවත් යුක්ති සහගතවත් නැති සතුට, පුදුමය, ශෝකය හෝ කලකිරීම් වගේ හැඟීම් ප්‍රකාශනවලට පස්සෙ ගැඹුරු නිශ්ශබ්දතාවයක් තියෙන ඇහුම්කන් දීමේ විරාමයන් තිබේවි. කම්බියේ අනිත් කෙලවරේ ඉන්න කෙනා කියන කිසිම දෙයක් ඔබට ඇසෙන්නේ නැති නිසා කතාවේ ඔළුව හෝ වලිගය හදන්න බැරිවේවි. හොඳයි, මට පහතින් පෙනෙන කැපී පෙනෙන නිරීක්ෂණ මාලාවක් දක්නට ලැබුණා. සියල්ල ම එකම පුද්ගලයාගෙන් වගේම සියල්ල ම කෑගැස්මෙන්. හේතුව, ඔබට කිසි විටෙක දුරකථනයකට මෘදු ලෙස කතා කිරීමට කාන්තාවන් පොළඹවා ගත නොහැකි නිසා:

ඔව්? ඇයි, කොහොමද එහෙම වුණේ?

නැවතීමක්.

ඔයා කිව්වෙ මොකද්ද?

නැවතීමක්.

අපොයි, මම හිතන්නේ නැහැ ඒක.

නැවතීමක්.

නෑ නෑ! අපොයි මම එහෙම හිතුවේ නෑ. මම කිව්වේ ඒක උතුරන අතරේ හරි උතුරන්ඩ කලින් හරි දාන්න කියලා.

නැවතීමක්.

මොකක්ද?

නැවතීමක්.

මම ඒක සෙල්වේජ් දාරයේ (රෙදි කැබැල්ලක වාටිය) පිටිපස්සේ මැහුම්වලින් පෙරලුවා.

නැවතීමක්.

ඔව්, මමත් ඒ ක්‍රමයට කැමතියි; ඒත් මම හිතන්නේ වැලන්සීන්ස් (ලේස් වර්ගයක්) හරි බොම්බාසින් (සිල්ක් රෙදි වර්ගයක්) හරි ඒ වගේ එකක් එක්ක අල්ලලා මහන එක වඩා හොඳයි. ඒක හුළං වැදෙන්ඩත් හොඳයි, සද්දත් උරාගන්නවා.

නැවතීමක්.

ඒක හතළිස් නම වැනි බයිබල් කථාව, හැට හතර වෙනි එකේ ඉඳලා අනූහත් වෙනි එක වෙනකල් තියෙනවා. මම හිතන්නේ අපි හැමෝම ඒක නිතර කියවන්ඩ ඕනේ.

නැවතීමක්.

සමහර විට එහෙම වෙන්න පුළුවන්; මම සාමාන්‍යයෙන් කොණ්ඩ කටුවක් පාවිච්චි කරනවා.

නැවතීමක්.

ඔයා කිව්වෙ මොකද්ද ? (පසෙකට..) ළමයි සද්ද කරන්න එපා!

නැවතීමක්.

ඔහ්! ඇත්තටම! මම හිතුවේ ඔයා කිව්වෙ බළලා ගැන කියලා!

නැවතීමක්.

කවදා ඉඳන්ද?

නැවතීමක්.

ඇයි, මම කවදාවත් ඒ ගැන අහලා නැහැ.

නැවතීමක්.

ඔයා මාව පුදුම කරනවනේ! ඒක නම් කවදාවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි!

නැවතීමක්.

කවුද කළේ?

නැවතීමක්.

දෙයියන්ට ඔප්පු වෙච්චාවේ!

නැවතීමක්.

හොඳයි, මේ ලෝකෙ කොහෙට යනවද මන්දා? පල්ලියේදී ඒක හරිද?

නැවතීමක්.

එයාගේ අම්මත් එතන හිටියද?

නැවතීමක්.

ඇයි බැග්ලේ නෝනා, මම නව නින්දාවෙන්ම මැරෙනවා! එයාල මොකද කළේ?

දිග විරාමයක්.

මගේ සටහන් මා ළඟ නැති නිසා මට සම්පූර්ණයෙන්ම විශ්වාස කිරීමට නොහැකි වුවත් මම හිතන්නේ ඒක මේ වගේ දෙයක් වෙයි: te-rolly-loll-loll, loll lolly-loll-loll, O tolly-loll-loll-lee-ly-li-I-doæ ඉන්පසු නැවත නැවතත්, ඔබ දන්නවා.

නැවතීමක්.

ඔව්, මම හිතන්නේ ඒක හරිම මිහිරියි – උදාරයි වගේම සිත්ගන්නා සුළුයි. ඔබ ඇන්ඩන්ටිනෝ (රාගයක්) සහ පියානිසිමෝ (ස්වර ඛණ්ඩයක්) හරියට කරනවා නම්.

නැවතීමක්.

Tya, gum drops, gum dropsæ (රස කැවිලි වර්ගයක්) ඒත් මම කවදාවත් එයාලට ඉරි තියෙන රස කැවිලි කන්න දෙන්නේ නැහැ. ඇත්තටම එයාලට කන්ඩත් බෑනේ දත් එනකං කොහොමටත්.

නැවතීමක්.

මොකක්ද?

නැවතීමක්.

ඔහ්, පොඩ්ඩක්වත් නෑ – හරි යන්න. එයා මෙතන ලියනවා ඒක එයාට කරදරයක් නෙවෙයි.

නැවතීමක්.

හොඳයි, මම පුළුවන් වුණොත් එන්නම්. (පසෙකට..) මේ අහන්න, මේක මෙච්චර වෙලාවක් අල්ලගෙන ඉන්න එක කෙනෙක්ගෙ අත මෙච්චර වෙහෙස කරවන්නෙ කොහොමද! මම කැමතියි එයා….

නැවතීමක්.

අපොයි, කොහෙත්ම නැහැ; මම කතා කරන්න කැමතියි – ඒත් මට හිතෙන්නේ මම ඔයාව ඔයාගෙ වැඩවලින් වළකනව ඇති කියලා.

නැවතීමක්.

අමුත්තෝ..?

නැවතීමක්.

නැහැ, අපි කවදාවත් ඒවාට බටර් පාවිච්චි කරන්නේ නැහැ.

නැවතීමක්.

ඔව්, ඒක හොඳ ක්‍රමයක්; ඒත් හැම සූපශාස්ත්‍ර පොතකම තියෙන්නේ අවාරෙදි ඒවා සෞඛ්‍යයට හොඳ නැති බවක්. කොහොමත් එයා ඒවට කැමතිත් නැහැ, වැඩිපුරම ටින් කළ ඒවට.

නැවතීමක්.

ඔහ්, මම හිතන්නේ ඒක එයාලට වැඩියි; අපි කවදාවත් පොකුරකට ශත පනහකට වඩා මුදලක් ගෙවලා නැහැ.

නැවතීමක්.

ඔයා යන්න ඕනද? හොඳයි එහෙනම්, ගුඩ් බායි.

නැවතීමක්.

ඔව්, මම හිතන්නේ එහෙමයි. ගුඩ් බායි.

නැවතීමක්.

හතරට, එහෙනම් මම ලෑස්ති වෙන්නම්. ගුඩ් බායි.

නැවතීමක්.

ඔයාට බොහොම ස්තුතියි. ගුඩ් බායි.

නැවතීමක්.

ඔහ්, කොහෙත්ම නැහැ! නැවුම් වගේ… මොකක්ද? ඔහ්, ඔයා ඒක කිව්ව එක ගැන මම සතුටු වෙනවා. ගුඩ් බායි. (දුරකථනය විසන්ධි කර, “ඔහ්, අත කැඩෙන්න වගේ!”) පිරිමියෙක් තනි, දරුණු “ගුඩ්-බායි” පවසයි, ඒ අවසානයයි. කාන්තාවක් සම්බන්ධයෙන් එය එසේ නොවේ – මට එය ප්‍රශංසාත්මකව මෙසේ කිව හැක; ඔවුන්ට හදිසි බව රුස්සන්නේ නැත.

https://divaina.lk/%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1-%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/

Nissanka Rajapaksa

unread,
Oct 14, 2024, 7:46:20 PM10/14/24
to INDRAKA group
47

බාලාංශ ගුරුවරයා

බුරුම ජාතික Aung Thinn අවුන් තෙන් විසින් රචිත The Kindergarten Teacher කෙටිකතාවේ පරිවර්තනය. 

- පරිවර්තනය – එම්.එම්. පාලිත මහින්ද මුණසිංහ
(සිළුමිණ පුවත්පතින්)

මම හැටේ දශකයේ මුල් භාගයේ සිට යැන්ගොන් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කළෙමි. ඊට පෙර මගේ ගම වන ටොන්ග්ජිහි මධ්‍ය පාසල් ගුරුවරයකු ලෙස මම වසර තුනක් පමණ සේවය කළෙමි. මෙම තනතුරු දෙකෙහිම හොඳ ගුරුවරයකු ලෙස මා සලකනු ලැබුවේය. ඇත්ත වශයෙන්ම මට සිතුණේ ගුරු භූමිකාව එතරම් දෙයක් නොවන බවයි. යමකුට උත්සාහයක් හෝ දක්ෂතාවක් නොමැතිව වුවද හොඳ ගුරුවරයකු ලෙස ප්‍රසිද්ධ විය හැකි යැයි මට හැඟුණි. කෙසේ වෙතත් දිනක් දුටු දෙයින් හොඳින් ඉගැන්වීම පිළිබඳ මගේ ස්වයං ඇගයීමේ සීමාවෙන් ඔබ්බට මා ගොස් ඇති බව මට වැටහුණි.

එකල මම කෞතුකාගාරයේ අධ්‍යක්ෂකවරයෙක් වීමි. ටොන්ග්ජි හි ප්‍රාදේශීය කෞතුකාගාරයට නුදුරින් පිහිටි ස්වේ ඉන් ටෝ දාගැබ ළඟ සවස් කාලය විවේකීව ගත කිරීම මගේ සිරිතකි. එහිදී මගේ හොඳම මිතුරන් කිහිපදෙනකු හමුවී කතාබහ කිරීමට අවස්ථාව ලැබුණි. වූ නියන් සේන් කෞතුකාගාරයට යන එන මාවතේ දාගැබ අසල ඇති ප්‍රාථමික පාසලේ ඉගැන්වූයේය. කලා ගුරුවරයකු වූ ඔහු මගේ කළණ මිතුරෙකි.

දිනක් කෞතුකාගාරයට පැමිණෙන ලෙස පැවසීමේ අරමුණින් මම ඔහුගේ පන්තියේ දොර අසලට ගියෙමි. ඔහු කළු ලෑල්ලේ යමක් අඳිමින් සිටියේය. එය කුමක් දැයි බැලීමට මම සුළු වේලාවක් රැඳී සිටියෙමි. පස් අවුරුදු වියේ පසුවන පන්තියේ ළමුන් නිහඬව ඒ දෙස බලා සිටියේය. හුණු කූර හසුරවමින් මා දන්නා ජනප්‍රිය කාටූන් චරිතයක් ඔහු නිමා කළේය.

“ඒ ඉබ්බෙක්!” ළමුන් එක්වන්ව හඬ නැඟූහ.

වූ නියන් සේන් එයටම වඩා උස නැති රිටක් ද එක් කළේය.

“එයා සැරයටියක් අල්ලාගෙන ඉන්නවා…!” ළමෝ ආයෙමත් කෑගැසූහ.

එසැණින් වූ නියන් සේන් තම දරුවන් දෙසට හැරුණේය.

“දවසක්… ඉබ්බා ඇවිදිමින් සිටියා. ඔයාලා හිතන්නේ එයාට හම්බ වු‍ණේ කවුරු කියලද…?”

ඔහු නැවත කළු ලෑල්ල දෙසට හැරී අනෙක් කෙළවරේ තවත් චිත්‍රයක් ඇඳීම ආරම්භ කළේය.

“හාවෙක්…!” ළමයි එක හඬින්ම කෑගැසූහ.

“හොඳයි… හාවා. ඊට පස්සේ …. ඉබ්බා….ට කිව්වා …”

ඔහු රූප සටහන් අඳින අතර කතාව වෙනස් කරමින් සිටින බවක් පෙනෙන්නට තිබුණි. මම ඔහු දෙස බලා අත වැනුවෙමි.

“ඔයාටත් එකතුවෙන්න පුළුවනි!” ඔහු සිනාසෙමින් මා ඇමතුවේය.

එදින සවස මා මුණගැසෙන ලෙස ඔහුට පැවසුවේය. එලෙසින් දවස් දෙකක් හෝ තුනක් ඔහු චිත්‍ර ඇඳීම සමඟ කතන්දර කියනවා මට ඇසුණි. එබැවින් ඔහු කිසිවක් උගන්වන්නේ නැත්තේ ඇයි දැයි මම දිනක ඔහුගෙන් විමසුවෙමි.

“මට ඕනෑම වේලාවක කියවීමයි, ලිවීමයි උගන්වන්න පුළුවන්.”

“ඔව්.. ඒක ඇත්ත.. මම අදහස් කළේ… ”

“දැන් ළමයි ඉස්කෝලේ එන්නේ සතුටින්. හැමෝම පාසලට කැමතියි. ඒක කොච්චර වටිනවද.” වූ නියන් සේන් පැවසීය.

එය සත්‍යයක් විය හැකි බව මම විශ්වාස කළෙමි. ඊළඟ දවසේ ඔහු සේවය කරන පාසලේ වැඩි කාලයක් ගත කිරීමට මම තීරණය කළෙමි. එදින ඉදිරිපස පේළියේ එක් පිරිමි ළමයෙක් දෑස් පොඩිකරමින් සිටියේය. ඔහු චිත්‍ර ඇඳීමට යොමුවූයේ නැත. කතාවට සවන් දුන්නේ ද නැත. ළමයා වරින්වර පන්තියෙන් එළියට එබී බලමින් නොනවත්වාම හඬමින් සිටියේය. මහලු කාන්තාවක් පන්තියට ඔබ්බෙන් පිහිටි සියඹලා ගස යට වාඩිවී සිටිනු මම දුටුවෙමි. සමහරවිට ඇය ළමයාගේ ආච්චි විය හැකි ය. ටික වේලාවකට පසු වූ නියන් සේන් කාන්තාවට කතා කළේය.

“කරුණාකර ගෙදර යන්න. එයි තාර්, එයා ගැන කරදර වෙන්න එපා. ඔයා මෙහෙ සිටින තාක් එයා අඬන එක මට නවත්වන්න බැහැ.”

එය කන වැටුණු ළමයාගේ හැඬීම, කෑගැසීමකට හැරුණි. ආච්චි එහා මෙහා වීමට අකමැති විය.

“මේක නම් භයානකයි” ඔහු මට කීවේය.

“ළමයින්ට වඩා මහලු ගෑනු හැසිරවීම හරිම අමාරුයි.”

ඉන්පසු ඔහු ඇයට කතා කොට,

“අඩුම තරමින් කරුණාකර එයාට නොපෙනෙන තැනකට ඔයා යන්න.” යැයි පවසා සිටියේය.

මහලු කාන්තාව සෙමෙන් සෙමෙන් ඉවතට ගියාය. ළමයාගේ කෑගැසීමෙන් කාමරය දෙදරුම් කෑවේය. වූ නියන් සේන් කතන්දරය ඉදිරියට පවසාගෙන යද්දී ළමයා තව තවත් හඬා වැලපුණේය. මද විරාමයක් ගෙන වූ නියන් සේන් සිනහවකින් මුව සරසාගෙන ළමයා දෙස බලා සිටියේය. ළමයාගේ හැඬීම ඔහුට දිගටම කළ නොහැකි විය. එහෙත් මා දුටුවේ ළමයාට එය නතර කළ නොහැකි බවයි.

“ඔයා දිගටම අඬන්න… හයියෙන්…අඬන්න…” වූ නියන් සේන් පැවසීය.

එදෙස බලාහුන් ළමයින් කිහිපදෙනකුම දෑස් පොඩි කරමින් ඉකිබිඳින්ට වූහ. එසැනින් කාමරය පුරාම ඉතා වේගයෙන් ඉකිබිඳුමේ මුහුණු පැතිර ගියේය. සුළු මොහොතකින් එහි හඬ හිනි පෙත්තටම ළඟා වුණි. පුදුමයකි, එකවරම ළමයා හැඬීම නතර කළේය. එවිට අනෙක් ළමයින් ද හැඬීම නතර කළේය. එය දුටු විගස මට තනිවම සිනාසෙන්න නොහැකි විය. වූ නියන් සේන් ඔහුගේ කතාව සමඟ යළි ඉදිරියට ගියේය. ටික වේලාවකට පසු ළමයා නැවත හැඬීම ආරම්භ කළේය. නැවතත් අනෙක් අය ඔහු සමඟ එකතු වී හඬා වැලපුණහ.

ඊළඟ දවසේ මම වේලාසනින් එම පන්තිය අසලට සමීප වූයෙමි. ඔහු පන්තිය අමතා කතා කරමින් සිටියේය.

“ඒයි… අද මම ඔයාලට මිදි ගෙනාවා. හැබැයි ටිකයි තියෙන්නේ. කාටද ඕනෑ…? ”

“මට… මට…!” ළමෝ කෑමොර දුන්හ.

“එහෙනම්…. මිදි කන්න කැමති අය අතේ ඇඟිල්ලක් ඔසවන්න!”

පන්තිය පුරාම කුඩා ඇඟිලි ඉහළට යොමු විය. එම මොහොතේ වෙනදා අඬන ළමයා දෑස් දල්වාගෙන එදෙස බලා සිටියේය. ඒ ළමයා අත ඔසවා ගුරුවරයා දෙස බැලුවේ නැත. ඇත්තටම මිදි ලැබේවිදැයි පුදුමයෙන් ඔහු සිටින බවක් පෙනෙන්නට තිබුණි. මටත් එහෙම සිතුණි. වූ නියන් සේන් කළු ලෑල්ල දෙසට හැරුණේය. ඔහු රවුමක් ඇඳ ඉහළින් ඊට නටුවක් එක්කාසු කළේය. යළි යළිත් එවැනි ආකාරයේ රූ සටහන් කිහිපයක් ඒ අසලින්ම ඇන්දේය.

“මෙන්න මිදි ගෙඩියක්… මුලින්ම කාටද? ආ…ඔයාට, මෙන්න අරගන්න…!”

ඔහු කළු ලෑල්ලෙන් මිදි ගෙඩියක් කඩා ගන්නා ලෙස මවා පෑවේය. අනතුරුව ළමයකු වෙත හැරී තොල් උල්කරමින් එය කෑවේය. පන්තියේම ළමුන් සියලුදෙනාම මහත් හඬින් සිනාසුණහ.

“මෙන්න තවත් එකක්!” ඔහු ඊළඟ එක කඩාගෙන පන්තියේ ළමයකු දෙසට විසි කළේය.

ඔහුගේ ඇඟිලි තුඩු දෙකක් පුවරුව මත විය. එය ඉතා වටකුරු නොවීය. තරමක් දිගු විය.

“මෙන්න තව එකක්” ….

දෙතොලින් හා දෑසින් එය ඇඹුල් බව හඟවමින් ඔහු වෙනත් ළමයකු වෙත එය වීසි කරන ආකාරය පෙන්නුම් කළේය.

“ඒක ඇඹුල්!” ළමයා සිනහවෙමින් කෑ ගැසුවේය.

“මට.. මටත්… ඊළඟ එක..!” ළමුන්ගේ අත් එසවෙන්නට වුණි.

ඔහු යළිත් දිගැටි ඇදවූ කවයක් ඒ අසල ඇඳ පෙන්වීය.

“මේක නම් කුණු වෙලා වා…ගේ…. ඒක තිත්ත ඇති”.

ඔහු තවත් ළමයකු වෙත එය විසි කළේ මුහුණේ රැලි නංවා තිත්ත බව හඟවමිනි. අසල සිටි මා ගැන ළමුන් නොසලකන බව මට හැඟුණි. ඊළඟ දවසේ නව පියවරක් ගන්නා බව වූ නියන් සේන් මවෙත පැවසුවේය.

“අද මම වරකට මිදි පහක් ඔයාලගෙන් ඉල්ල ගන්නවා” ඔහු ප්‍රකාශ කළේය.

“ඒත් රස මිදි ගෙඩිවලට පමණයි ලකුණක් දෙන්නේ. මට ඇඹුල් හෝ කුණු වූ ඒවා දුන්නොත් ඔයාලට ලකුණු දෙන්නේ නෑ.”

ළමයි දෑස් දල්වා බලා සිටියහ.

“හා…දැන් බලන්න රසවත් මිදි ගන්න… කෝ..කෝ…දෙන්න.. ”.

ඔහු කළු ලෑල්ලේ දක්ෂිණාවර්ථව ඉතා වටකුරු රවුමක් ඇන්ඳේය.

“ඒ වගේම කුණු වූ මිදි කියන්නේ මෙන්න… මේ… වට…”

ඔහු පැවසුවේ වාමාවර්තව තවත් රවුමක් ඇඳීමෙනි. ඔහු එය ඇඳ පෙන්වනවිට ළමයින් ඔවුන්ගේ කුඩා දෑත්වලින් අවකාශයේ චලනයන් සිදු කළහ.

“මේ වාගේ….බලන්න …මෙහෙම… නෙවෙයි…” ඔහු අනුකරණය කරමින් ළමෝ හඬ නැඟූහ.

ඔහුට සියලුම ළමයින් කරනදේ ගැන දැකගත නොහැකිය. එය පරීක්ෂා කරන්නේ කෙසේදැයි මම කල්පනා කළෙමි. කුඩා කටහඬක් නැඟිණි.

“සර්… සර්… ” කුණු වූ මිදි පෙන්වීමට ළමයා කුඩා අත වාමාවර්තව කැරකුවේය.

ඔහු ළමයා අසලටම පැමිණියේය.

“නෑ… නෑ… වැරදියි…!” ඔහු දක්ෂිණාවර්තව අවකාශයේ රවුමක් ඇඳ දැක්වීය.

“වැරදියි…වැරදියි… ” ළමෝ කිහිපදෙනෙකු ඔහු වටකරගත්හ.

ආහා… මට හිතුණා… ඔයාලා මාව පරීක්ෂා කරන බව.

ළමයින් කැමැත්තෙන් ඔවුන්ගේ ගල්ලෑල්ලේ මිදි ගෙඩි අඳියි. මිදි පහක් ඇඳීමෙන් පසුව ගල්ලෑලි පරීක්ෂා කිරීම සඳහා ඔවුන් ඒවා වූ නියන් සේන් වෙත ගෙන ගියහ.

“දැන්…. මේක නම්… ඇඹුල්. ඊළඟ වතාවේ නම් ඒවා සල්ලිවලට ගන්නේ නෑ…” ඔහු පැවසුවේ ගල්ලෑල්ල ළමයකු වෙත ආපසු දෙන අතරතුරදීය.

“හරි… මේ වතාවේ…. මම කන්නම් ”යනුවෙන් යළි ලකුණක් තැබීය. ළමයා සතුටින් ආපසු ගියේය. හැඬූ ළමයා ලැජ්ජාවෙන් ඔහු අසලටම පැමිණියේය.

“ඒයි… ඔයාට හුඟාක් අඬන්න පුළුවන්. ඒත් ඔයාගේ මිදි රස බවට සහතිකයි!” වූ නියන් සේන් ඔහුගේ හිස පිරිමදිමින් පැවසීය. ඉතා සතුටින් පිරිමි ළමයා ආපසු තම ස්ථානයට දිව ගියේය. ඔහු සතුටින් වැඩි වැඩියෙන් මිදි ගෙඩි අඳින ආකාරය මම දුටුවෙමි.

ඊළඟ දවසේ මිතුරු වූ නියන් සේන් නව පාඩමක් ආරම්භ කළේය. ඔහු සෑම කෙනකුටම නැඟිට ඔවුන්ගේ නම් ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටියේය. ඉන්පසු වූ නියන් සේන් කළු ලෑල්ලේ ‘කා’ (බුරුම හෝඩියේ පළමු අකුර) ඇඳ පෙන්වූවේය. (බුරුම හෝඩිය රවුම් හැඩ මත පදනම් වී ඇති අතර අකුරු ඉතා වටකුරු වන්නේ සෞම්‍ය මිදි ගෙඩි ආකාරයෙනි.)

“ඔයාල හැමෝටම නමක් තියෙනවා නේ…එක එක්කෙනා දැන් ඔයාලාගේ නම් මට කියන්න ඕනෑ …” ඔහු ළමුන් අතරට ඇවිද ගියේය.

බලන්න කියන්න.

“ආ…හරි ලස්සන නමක්! මොනතරම් හොඳද! තව මොනවාද හොඳ නම්? හා…හරි…කියන්න. ” වූ නියන් සේන් එවර වඩාත් උස් හඬින් ප්‍රබෝධයෙන් පැවසුවේය.

“මෙයාටත් නමක් තියෙනවා. ‘කා’ … ඔන්න.. අමතක කරන්න එපා…. ඔයාලා තමන්ගේම නමින්ම අඬගහනවාට කැමතියි නේද? ”

“ඔව්..ඔව්.. ” ළමුන් ඔල්වරසන් නැඟූහ.

“ඉතින් එයත් එහෙම..යි…යි.. ”

හෝඩිය හරහා මිතුරා තම පාඩම ඉදිරියටම කරගෙන ගියේය. ඔහු ඉගැන්වීමේ නිරත වන ආකාරය මා කම්පාවට පත් කළේය. මිතුරා තරම් මා හොඳින් සිසුන්ට ඉගැන්වූවාද…? මගේ සිසුන්ට මා හොඳ ගුරුවරයෙක් වූවාද? මම මා වෙතින්ම විමසා ගතිමි.




Nissanka Rajapaksa

unread,
Oct 15, 2024, 9:39:48 PM10/15/24
to INDRAKA group

48

නමක් නැති පොත හා කහපාට සේලය-----

මෙලනි තෙන්නකෝන්

මම කවුළුව ලඟින් ඉවත් වීමි මොහොතකට.. ඈත ඝණ්ථාර නාදය පල්ලියේ පූජාවට වෙලාව බව කියයි.. අදත් එහි යා යුතුය. පූජාව අවසන පුස්තකාලයට රිංගා අර පොත සොයා ගත යුතුය. කළුවර පොතෙහි මැකීගිය බොඳ අකුරින් ඇගේ ජීවිතය සොයාගත යුතුය. ඈ කතාවක් ලියා ඇත. පිටු බොඳවී ඇත. අඳුරු පැල්ළම් මත අකුරු බොඳවී ඇත. නිසැකව ම ඒ පැල්ලම් ලියද්දී ඇගේ නෙතින් වැටුණු කඳුළු විය යුතුය. නැවතත් ඝණ්ඨාරය වදී. මම කඩිනමින් හිස් වැසුම ලා ගතිමි මෆ්ලරයෙන් වසාගත් බෙල්ල මුහුණ ද පැත්තක් ආවරණය කළේ ය.
“අන්යා,,! උඹ කොහෙද දුවන්නෙ? කෝපි එක බීල පලයන්..”
“ඕන් නෑ මන් එනව පූජාව ඉවර උනාම..”
“එයි ! එයි ! උඹ පුස්තකාලෙට රිංග ගත්තම හෙට වත් ආවොත් ඇති. “අම්මා නොනවත්වා නෝක්කඩු කියාගෙන ගියා ය. කිසිත් නොකී මම ඉක්මනින් එනවෝ කියාගන දුවන්න ගතිමි.
හීනියට හිම වැටෙන සද්දෙත් එක්ක මහා සුළඟක් කෑ ගසන හඬත් අරගෙනම මම පල්ලියේ දොරකඩ හිටගතිමි. ඒ දුවගෙන ආ වේගෙට හති ඇරීම විනා වෙන අහවල් එකකට දැයි කිව යුතු නැත. අවශය වන්නේ පුස්තකාලයට රිංගා ගනිමටයි. පූජාව පටන් ගත්තා පමණය තව වෙලාවක් ගත කළ යුතුය. පූජක තුමා ඈතදීම මා දකින්නට ඇත. දේශනාව කරමින් උන්වහන්සේ ඉදිරිපස බැලුවේ ය. මේ පල්ලිය කුඩා ප්‍රමාණයක මිනිසුන්ගේ පූජා බිමකි. එහෙයින් කිසිවකුට හොරෙන් හෝ සැඟවී යාමට ඒමට නොහැක.
මං පසුපසම බංකුවේ වාඩි ගතිමි.
කටු සටහනක මතක මගෙ සිතේ විය.. විදේශ රටක මා ලද පළමු අත්දැකීම මේ විය හැක.. සාර්ථකව මේ කතාව සොයා ගැනීමට අනිවාර්යෙන්ම ෆාදර්ගේ අවවාදය මඟ පෙන්වීම අවැසිය. කාගෙන් හෝ උදව්වක් නැතිව ඈ ගැන සොයාගන්නට නොහැකි බව මා මේ වනවිට තේරුම් ගෙන සිටියෙමි.. රීතීන් කඩා බිඳ දමමින් ඇගේ ආත්මය සොයායාමට තීරණය කළෙමි.
අඩක් නොව බොහෝ තැන් නොලීවේ ඇයි යන්නද ගැටළුවකි.. එසේ තිබියදී මෙය පල්ලිය පුස්තකාලයට දුන්නේ ඇයි..?
වෙනත් අයකු මිතුරියක් හෝ ඈට නොසිටියාද.,..? ඈ හිටියේ කොහිද? දෙමාපියන් කොහිද.? මා සිතිවිලි අතර හිරවී සිටියෙමි.
අන්යා ෆාදර් එනවා… කවුදෝ කියන හඬින් මම නැගී සිටියෙමි
”අන්යා ! දරුවො වේලාසනම ඇවිත් ”
“ඔව් ස්වාමී… මට අර කතාව බලන්න ඕනි”.
“හ්ම්.. කුතුහළය සොයා යාම නොහොත් හඹායාම….! හොඳයි යමු යමු පුස්තකාලයට.”
වචනයෙන් දෙකෙන් ආරළු බූරළු නැතිව කතාව ප්‍රස්තුතයට පැමිණීම ගැන මම සතුටුවීමි. කාලය බොහෝ වටිනවා. සටහනක් තබන්නට නොව කියවා බලා හඹායාමට මන් කවදත් කැමතිවීමි.. මම පුස්තකාලයට ගොඩ උනෙමි..
“හොඳයි පොතත් අරගනම එමුකො..” අල්මාරියේ යතුර මා අත තැබූ ෆාදර් ඔහුගේ අසුන වෙත ගියේ ය.
පසෙක වූ මේසය ළඟ පොත් කියවමින් සිටි අදුශ් පාර්මී සහ නාඳුනන කීප දෙනෙකුද විය. මම හනිකට පොත් අල්මාරිය වෙත ගියෙමි..
මෙහි මහා පොත් ගොන්නක් නැත. නවීන නවකතා බොළඳ නවකතා යයි කියන ඒවාමද නැත. එහෙත් මේ අපූරු කතාව ආදර කතාවක් බව නම් දනිමි. එහෙයින් මෙහි ඇත්තේ උපකල්පනයට අනුව හෙටටද ගැලපෙන අපූරු කතාවන් බව මම සිතමි.. දුර්වර්ණ පොත මට හසුවිය.. සොයාගනීමට අසීරු නොවූ මේ පොත දුර්වරණ වූයේ මහා පැරණි නිසා නොවන බව පසක් කරගතිමි. ඒ නම් එහි තවත් කතාවක් ඇති බැවිනි.. නමක් නැති පොත අතට ගත් මම නැවත අල්මාරිය යතුරු දමා ෆාදර් වෙත ගියෙමි…
“හා හොයාගත්තාද අන්යා..”!
“ඔව් ෆාදර්..”
“එහෙමනම් වාඩි වෙමු. තව මොනවද අහන්න ඕනි කීව මතකයි ඊයෙ ඔය පොත ගැන. ”
“ඔව් ෆාදර්.”
“හුඟක් ප්‍රශ්න ආව ඊයෙ මේ පොත දකිද්දි.”.
“අන්යා !” ඉස්සරල ඕක කියවන්න. හුඟක් පිටු දුර්වර්ණයි. උත්සාහ කරන්න හඳුනගන්න. ඒවගෙම හිස් පිටුවලින් කියන්න ඇති දේ හිතන්න.
පසුව කතාකරමු. මා දන්නා දේ කියන්නම් ඔබ ලියන්න ඇගේ කතාව. යමක් කෙනෙකුට ඉගෙනගන්න ලැබෙයි කියල හිතනව.”
“හොඳයි එහෙම නම් පොත ගෙනියන්න. ඉවර වෙලා ඇවිත් කතාකරන්න.”
“හොඳයි ෆාදර්..”
කියූ සැනින් අඩි දෙකට මං පුස්තකාලයෙන් පිටවීමි. එක හුස්මට ගෙදර දුව ආ මා ගෙට ඇතුළු වූයේ විසිල් පහරක් ද ගසමිනි.
“මගෙ අම්මේ උඹට තියෙන විසේ ඉගිල්ළෙන්නෙ. මේක පිට්ටනියක්ද? ගෑණු ලමිස්සියක් කියල වගක්වත් නැති හැටි අම්මප. මේ ඔහොම දඟලන්න මේක අනුන්ගෙ රට උනාට උඹ අපෙ කමට හැදියන් පුතේ ඒක මතක තියාගනින්..” අම්මා යාතිකාව දිගටම කරගන ගියා ය…. මන් හිමින් ඇගෙ කම්මුල සිප කාමරයට වැදුනෙමි.
“කට්ට හෙම නෑනේද ..?”ඈ කියනවා ඇසුණි.. මා සිවිලිමට හිනාවූයේ ඇඳේ උඩුබැලි අතට දිගාවෙමිනි….
“එහෙනම් ඔයාල මට අන්යා කියල දැම්මේ අපේ නමක් නොදා. ඒක හරිද.. ?
මං හදාගන්න ගත්ත ළමයෙක්වත් ද මන්ද…?”
“හනෙ මගෙ කට .. වහපන් කට උඹ කොහොමත් ගානට වැඩියි. හිටපන් අප්පච්චි එනකන්…” අම්මා කෝප ගැන්වීමට මේ කතාව හොඳට ම සමත් ය… මම දිගටම සීලිමට හිනා උනෙමි…
….
ඈත කඳු වළල්ලෙන් එහා අහසත් කඳුත් එකට යාවෙමින් තිබින.. හ්ම් හඬකුදු නැතුව අපූරුවට හිම බින්ඳු එහෙමෙහෙ දිව යමින් තිබුණි. පල්ලියෙ කුරුසයට උඩින් මා නිල් අහස දෙස බැලුවෙමි. දුර්වර්ණ පොත අතටගත් මම ජනේලය උඩ වාඩි උනෙමි. දැන් මෙතන හරිම නිස්කලංකය..
ඈ මේ පොතෙහි පිටු මඟ හැර ලීවෙ ඇයි..? තැනින් තැන බොඳ අකුරු ඇගේ කඳුළු පැල්ලම් යයි මං අනුමාන කළෙමි..
රවුම් අකුරු රවුම් කඳුළු බිඳු (බොහෝ දුරට කඳුළු විය හැක ) පොතේ මැද දී දකින්නට තිබුණි. එහෙන් මෙහෙන් නොව හිමින් මා එකින් එක “නමක් නැති පොත ” බලන්නට පටන් ගතිමි.
දිනය වසර පැහැදිලි නැතත් 1998 යයි අනුමාන කරමි.. දෙසැම්බර් දහවෙනිදා ලෙස ලියා තිබුණි.
ඒ දිනය ඈ කතාව පටන්ගත් දිනද අවසාන කළ දිනදැයි පැහැදිලි නැත.
“ජීවිතය මා සොයා පැමිණ ඇත. මම එයට මහත්සේ ආදරය කරමි”
පළමු සටහනක් එලෙස විය. .
“සතුටින්ද.?”..
“ඔව් හරිම සතුටින්..” ඔහු සිනාසුනේ ය. මම ද හිමින් සිනාසුනෙමි.
“ඔයා ලෝකෙ කොහේ ඉඳලද මෙහෙ ආවෙ…, මං කොහේ ඉඳලද ආවෙ?
බලන්න අපි එකට හමු උන විදිය හරිම පුදුමයි නේද “?
 
"මම සතුටින් හිනාඋනෙමි.. මේ සෙනෙහස හරිම සන්සුන් බව අවබෝධ කරගන සිටියෙමි. විඩාපත් ජීවිතයක හෙම්බත්ව සිටි වකවානුවක පුංචි මනසට සහනයක් වූයේ ඔබ මෙහි ආගමනය යයි සිතමි. ඔබ හමුවිය.. කල්ප කාලාන්තරයක් පුරාවට බැඳුණු අප ජීවිත උඩි යටිකුරු කරමින් තිබෙන වග දැනුනි. සුන්දර සරල කතන්දරයක් ඉදිරියෙදි හමු නොවන බව අප අමතක කර සතුටින් ඉන්න තීරණය කළෙමු. කවද කෙලෙස අවසානයක් ඇති වේදැයි නොදැන සිටියෙමු. හේතුව අප විජාතික දෙදෙනකු වීමයි.”………
ඈ ලියූ සටහන් වලින් තැනින් තැතින් අහුලාගත් එම සටහන මුල් පිටු දෙකක එකතුවක් විය. සුන්දර ආදර පබැඳුම් ඒ අතර තිබුණාට සැක නැතත් මට යළි පිළිසකර කර ගැනීමට හැකි වූයේ මේ කොටස පමණි.. එක්කෝ මේ පොත ගින්නකට අසුව තිබෙන්නට ඇත. නැතිනම් තෙත බරිත වන්නට ඇත. ඒ දෙකම විය හැක.
අකුරු විශාල කර බලන කණ්නාඩියක පිහිට ලබාගන්නට මන් සිතාගත්තෙමි. එරමිණිය ගොතාගන ජනේල කවුළුවේ වාඩි උන මම බිත්තියට පිටදී හුස්මක් ගතිමි. ඇගේ නම පළමුව සොයාගත යුතුය.. ඈ කවුද ? ඔහු කව්ද..?
“ආ ..! ඒ ගමන නැග්ගද ජනෙලෙ උඩට ඇත්තටම අන්යා උඹට පොළොවෙ පය ගහල ඉන්නම බැරිද ?. මෙයා කොල්ලෙක්ද කෙල්ලක්ද මන්ද. බහිනව බිමට ගැණු ළමයෙක් ඔහොමද වාඩි වෙන්නෙ.. මොකෝ උඹ හිම ගනිනවද මේ දවාලෙ .?” අම්මා කඩාගෙන පැන්නාය. සියලු සංකල්පනා බිඳ දමමින් අම්මා කා ගැසූ වේගයට මා ජනෙල් පඩියෙන් වැටුණා මෙන් විය.
“අයියෝ අම්මා කෑ ගහන්න එපා අනේ. මං මේ ලොකු වැඩක ”
“ඔව් ඔව් පේනව. අනේ මේ අන්යා මාව යකා අවුස්සන් නැතුව ඉන්නව හොඳේ… කවදද හැබෑට උඹ පොඩි වැඩක් කළේ..? මේ ගමන නටන්න හදන්නෙ මොකක්ද..? උඹට ඔය රස්සාව නම් හරියන් නෑ පුතේ ..!
ඒක අණක්ද එහෙම නැත්නම් කණගාටුවට කියුවක්ද මන්ද. කොහොමත් හොඳටම තරහ ගිය වෙලාවක මිස උඹ කියල නම් කියන්නෙ නැහැ.
මෙලෝ රහක් නැතුවම අම්ම කියවගෙන ගියා ය.
හහ් මගෙ ජොබ් එක මොන තරම් අපූරුද..? මාධ්‍යවේදිනියක්.. ඒක මගෙ හීනයක්නෙ,..
“පිස්සුද අම්ම මේක මරු ජොබ් එකක්නෙ.. ඉන්නකො මේ පාර හොයනව මං අබිරහසක්…"
“හනේ මේ අනුන්ගෙ රටවල කරදර දාගන් නතුව ඉන්නවද.. අපිටත් සැනසිල්ලෙ ඉන්න.”
“හයියෝ ඔයා නම් හරිම අම්ම තමා.. බයවෙන්න එපා අනේ.. ෂේප්.” මම ඇගෙ කම්මුලක් ඉඹගන කීවා ය.
අතින් මාව තල්ලුකර ඇගෙ පුංචි කෝපයත් ප්‍රකාශ කල පසුව ඔන්න සමාන්‍ය තත්වයට ආවා ය….
"මං යනවා පරක්කු උනා හවසට කෝල් කරන්නම් ගෙදර හිටියොත් එක්කන් යන්න එන්න. මේ හිමේ එන්න බෑ හවසට හිම වැස්සක්නෙ..”
“හොඳයි දැන් කොහොමද යන්නෙ.?
“බස් එක අල්ලගන්නව තව විනාඩි 20ක් තියෙනවා”
“හොඳයි අම්මා. මන් හවසට එන්නම් කෝල් කරන්න. ආ පෙට්‍රල් ගහන්න සල්ලි දීල යන්න”
“මේසෙ උඩ ඇති පරක්කු උනා. යන්නම්…
හොදයි ..!
හප්පේ වැහැල පෑව්ව වගෙනේ.. බලාගන ගියාම හිම කුණාටුව මොකක්ද අම්ම කෑ ගහපු වේගෙට මම ජනේලෙන් බැස්ස නෙවි පැන්න.. හප්පේ කකුලත් රිදෙනවා. රිදුණු කකුලත් අතගාගෙන මන් ආයිමත් නැග්ග ජනේලෙ උඩට. වාඩි උනා ආයිමත් එරමිණිය ගොතාගන දැන් හරි බලමු කියවල මෑ කවුද..?.
ආයිමත් මම පොතේ අකුරු ගණින්න පටන් ගත්ත.
“අපි එදා හමු උන මොහොත මට මතකයි. කොච්චර දේවල් නම් කතාකළාද.. අපේ රටවල් ගැන ආගම් ගැන සිරිත් විරිත් ගැන හුඟක් දේවල්. අපි මෙහෙම ආගම් දෙකක උපන්නෙ. මං මුස්ලිම් ඔහු හින්දු එයා ඉන්දියාවෙ. මම ඇෆ්ඝනිස්තානෙ.. රටවල් දෙක ළඟයි ඒත් ආගම් දෙක හරිම වෙනස්
ආදරයට ඒක බාධාවක් නෙවි කියල එයා කීව.. නිතින් හරි හොඳ මනුස්සයෙක්. මට හරිම ආදරෙයි. එයා මේ රටට ඇවිත් තියෙන්නෙ රැකියාවක් කරන්න. මම ආවෙ අපෙ අම්මලත් එක්ක. මගෙ වයස 17.යි. එයාට 23 යි……”…
…..එතනින් එහාට පිටු ගානක්ම හිස් බොඳයි.. මම හිතන්න පටන් ගත්ත. මේක අගමුල හරියට හොයා ගත්තනම් හරිම අපූරු ආදර අන්දරයක් වෙයි හින්දු මුස්ලිම් විවාහ නැත්තෙ මොකද.. ඔය නළු නිළියො බැඳල ඉන්නෙ. හොඳට ඉන්නෙ. මම හිතුවා. හ්ම් කමක් නෑ තව විපරම් කළා ඉතුරු පිටු.
“මගෙ අම්මල මේක දැනගෙන මහා ඝෝෂාවක් කළා අපේ ආගමෙ මේ නීතිය හරිම තදයි. දවසක් ”
"සෆ්නා ගෙදර යන්න ලැහැස්ති වෙන්න ස්කෝලෙ නිවාඩුවට අපි ඔයාගෙ විවාහය තීන්දු කරල තියෙන්නෙ.”
“අම්මා මට තාම 17යි නෙ.”
“ඉතින් ..! අපේ රටේ හැටියට ඉස්සරල ඔයාව විවාහයට සූදානම් කරන්න ඕනි දන්නවනෙ .”
“අම්මා……!” මම මහ හඬින් කෑ ගැසුවෙමි.
“අම්මා මං ඒකට කැමති නෑ. ඒක හරිම අමානුෂිකයි.”
මං මහ හයියෙන් හැඬුවෙමි. කෑ ගැසුවෙමි.
අම්මා බදාගෙන හැඬුවෙමි. එහෙත් ඈ වචනයකුදු නොකීවාය. මා ඇගේ දෙනෙතෙහි කඳුළු දුටුවෙමි. කිසිත් නොකීවද මගේ වචන නිවැරදි බව තීරණය කළ බව දනිමි. මම හැඬුවෙමි.
මගේ ආදරය ඔව් නිතින් ඔබ මට නොලැබෙන බව ස්ථීර බව දනිමි. අනෙ මගෙ හීන මගේ ආදරය…”
මා මේ වනවිට පොතේ මැද පිටුත් පසු කර තිබුණි. එහෙත් යම්තම් අදහසක් ගත්තා පමණි.. ඉනිදු අවසන පිටුව තෙක් එහෙන් මෙහෙන් වචනයක් හර වෙන කිසිත් නොවීය. අසාර්ථක වෑයමක මන් යෙදුනෙමි.. කාලය වියැකී ගියද ෆාදර් හා හෙට කතාකළ යුතුය යන තීරණය ගෙන හුස්මක් ගත්තෙමි. ඈත හිම පතනයක් විය. ගහ කොළ නොපෙනෙන තරමට සුදු පාටින් වැසී තිබුනි..
අම්මා එන වෙලාව ළඟය. හොඳටම හවස් වී තිබුණි.. ඇඟ පත තද ශීතලකින් හිරි වැටී තිබුණා. මං කඩිමුඩියේ ජනේලෙන් බැස එය වසා දැමිමි. අම්ම එක් කරගෙන ඒමට යා යුතුය. සෆ්නාගෙ පොත මේසය මත තැබූ මන් ඈ දකින්නට උත්සාහ කළෙමි.
ඔව්.! සෆ්නා මම නුඹව සොයාගමි. නුඹෙ කතාව තවත් කෙනෙකුට කියවන්නට සලස්වමි. යමක් තේරුම් ගිය ද එය සටහන් කිරීමට සුදුසු වේලාව මේ නොවන බව සිතමි. ඔව් හෙට ෆාදර් හමු වෙමි. සෆ්නා නුඹව මං සොයා යමි.
ඈත තද හිම පතනයක් විය. මුළු පවියා ගම්මානයම සුදු පැහැය ගෙන තිබුණි.. එකිනෙකා හඳුනාගනීමට නොහැකි තරමට මිනිසුන් මුහුණු ආවරණය කර ගෙන සිටිති,.. ඉදිරිය බලාගෙන යන්නෝ නොව බිම බලාගෙන යන්නෝ වූහ. එතරමටම හිම පතනය දැඩිව තිබුණි… වේලාව උදේ හත පමණ වන්නට ඇත..
ඊයේ මුළු රැයම මා අඩනින්දේ සෆ්නාව සෙව්වෙමි .. එළිවෙන පැය මට අළුත් දවසක නැවුම් පිටුවක් විය. පල්ලිය පිටුපස කිලෝ මීටර බාගයක් පමණ දුරකින් පෝ ගඟ ගලා බසින්නීය. පෝ ගඟත් හිමින් දුවන බවක් නැත…හිමත් ඇදගෙන ස්වීට්සර්ලන්තයේ සිට එන්නට ඇයටත් අමාරු ඇත.. මහා දුරක් ගෙවාගෙන පවියා නගරයත් නළවඟෙන ලතාවකට ගමන් කරන්නීය.. පවීය ගම්මානයම අනේක විධ ලතාවන්ගෙන් මුකුලිතව තිබුණි.. ඇස නොපෙනෙන මානයම වසාගත් කුඹුරු යාය මට මොහොතකට ගම රට සිහිපත් කළේය.. මොන තරම දැකුම් කළුද? පසෙක නොපෙනෙන මානයම වසාගත් තිරිඟු යායත් තැන තැන බිම සරසා ඇති නිවාසයන් ඉඳ හිට ගමන් කරන ගෝනි බිල්ලන් වන් මිනිසුන් හැර මොනම ශබ්දයක්වත් මෙහි නැත… එහෙයින් පෝ ගඟ ද සැනසිල්ලෙ ගමන් කරන්නේ ය.. විටෙක මෙහි පරිසරය ගුප්තය. තවත් විටක සුන්දර ගීතයකට පදවැල් සපයන්නීය.. ඉඳහිට හෝ කුරුළු හඬක් ඇසුණි නම් අනෙ මොනතරම් අලංකාර දැයි මට සිතුනි.. එකම අඩුව එපමණයයි සිතමි.
මේ නිහඬ පරිසරය මැද පුංචි පල්ලිය පිහිටියේ ය… මං හිම වැස්සේම පල්ලියට ගොඩ උනෙමි..
ෆාදර් ඒ වනවිටත් පූජාව පටන් ගෙන තිබුණි. අවසාන බංකුවේ වාඩි උන මම සෆ්නාව සොයාගැනීමට උදව් ඉල්ලා දෙවියන්ට කන්නලව් කළෙමි.. අඩ හෝරාවක් මා එලෙසින් ඉන්නට ඇත පූජාව අවසන් විය. මිනිසුන් එකා දෙන්නා පල්ලියෙන් පිට විය..
“අන්යා.. සුබ දවසක්..?”
“සුබ දවසක් ෆාදර්..!
“හ්ම්ම් එමුකො පුස්තකාලයට.. දැන් අන්යා හුඟක් කුතුහලෙන් නේද ..? ඊයෙ අඩ නින්දෙ ඉන්නත් ඇති නේද..?
මම පුදුමවීමි.:. ඔව් ෆාදර්.. ඇත්ත.”
“සෆ්නාව හොයාගන්න ලැබුණද..?
“තරමක් දුරට..”
“ඔව් ඔබ දක්ෂයි.. ඈ හඳුනාගන්න ඔබට පුලුවන්.”
"හොඳයි එමුකො වාඩි වෙන්න.. මොනවද කුතුහළය.?
“ෆාදර් මේ පොතෙ හුඟක් ඈ ලියා තියනවා ඒත් පැහැදිලි නැහැ.එක්කො මේක ගින්නකට අහුවෙලා .නැත්නම් වතුරෙන් තෙමිලා
නමුත් පිච්චිලා නැහැ දුර්වර්ණ වෙලා.බොඳවෙලා. අව පැහැ ගැනිලා. ඈ හුඟක් ලියල තැනින් තැන වචන අනුව අනුමානයක ගන්න පුලුවන්. ඒත් අනුමානයක් පමණයි. ”
“හ්ම්ම් . මොකක්ද ඔබේ අනුමානය අන්යා..?
“ෆාදර්. ඈ මහ පීඩනයකින් ඉඳල තියනවා.. ඒක දරාගන්න ඈට බැරි වෙලා. සමහර විටක දිවි නසාගත්තාවත්ද කියල හිතෙනවා..?
“අන්යා මම සතුටුයි ඔබෙ සමීක්ෂණය ගැන. එත් එහෙමම නෙවෙයි… තරමක් හරි නුඹ.. මනුෂත්වය හා යථාර්තය අතර දෝලනය වන එය හඳුනා නොගත් මිනිසුන් අතර අපට පරිකල්පනයක් කරන්න වෙනවා.. මේච්චර දියුණු ලෝකයක මෙහෙම ජාතීන් මානුෂික හැඟිම උල්ලංගණය කරන දුෂ්ඨ වට පිටාවක ජීවත් වෙන අපිත් අවාසනාවන්තයි මේව අහන්න දකින්න. දෙවියන් වහන්සෙ ඇයට ශාන්තියක් දෙයි ඇගෙ ආත්මයට.. ”
පැයක පමණ කතාබහකින් පසුව ඔහු මට ලිපියක් දුන්නේය”
“ඔබ දැන් මෙය කියවන්න ඔබට අවශ්‍ය කාරණය ඔතන තියෙනවා . ඉන් පසුව මා හමුවන්න. දෙවියන්ගෙ ආරක්ෂාව ඔබට ලැබේවි. නමුත් ප්‍රවෙශමෙන් දරුවා.. ඇගේ මිනිසුන් මෙහි ඉන්නව තවම. අන්යා ඉතින් යන්න. පසු දිනක හමුවන්න.”.
ෆාදර් කී එක වදනක් මා සිත යළිත් කුතුහලය දැනවීය.
“අන්යා පරිස්සමෙන් ඇගේ මිනිසුන් මෙහි තාම ඉන්නව..”
එසේ කීවෙ ඇයි ..? ප්‍රශ්නය තවත් කතාවක් හෝ මට සෆ්නා සොයා යාමේ ඈ ගැන ලිවීමේ අනතුරක සේයාවක් එකතු කළා යයි සිතුනි.. ලිපිය සාක්කුවේ දමාගත් මම පල්ලියෙන් පිටවීමි.. අත්දෙක සාක්කුවට ඔබාගන මුළු කයම වසාගන පිම්මෙ එක දිගට ගෙදරට දුවන්නට මම එළියට බැසීමි.
“සුබ දවසක් ..! නාඳුනන අයකු සුබ පැතීය ..එසේම වේවා..!
මම පෙරළා කීවෙමි.
“අන්යා නේද නුඹ..?
“ඔව්..!
“ඔබ මා හඳුනනවාද.?
“උත්සාහ කරනවා හඳුන ගන්න
“ඔබ කවුද ?
“මා කවුදැයි දැන ගැනීම අනවශ්‍යයි පරිස්සමෙන් කුතුහළය භයානකයි හඹායාම අනවශ්‍යයි.
කී වේගෙන් ඔහු පිටවිය.
මා එතැනම බලාසිටියෙමි. මෙ කවුද ..ඇයි එලෙස කීවෙ… ? අනතුරක සේයාව මටද දැනෙමින් තිබුණි
පසුපස බැලුනේ ආරක්ෂාවක් අවැසි බව සිතුනු නිසාවෙනි.
ෆාදර් දොරකඩ බලා සිටියේය..
“අන්යා !
ෆාදර් කතාකලෙන් මම යළි ඇතුලට ගියෙමි.
නාඳුනන අමුත්තා සමඟින් සෆ්නා….
නාඳුනන අමුත්තා මට කුතුහළය ඇති කළේය. ඔහු කවුද කියා විමසීමට වඩා සෆ්නාගෙ කතාව කුමක් දැයි සොයාගැනීමට මට අවැසි විය. කෙටි කාලයක් තුළ මහා වැඩ ගොඩක් කළ යුතුව මෙන්ම මගෙ නිවාඩු කාලයද වේගයෙන් ඉගිල යමින් තිබිණ.
ප්‍රවේශමෙන් දරුවා යයි ෆාදර් කී හැටිත්, පරිස්සමෙන් කුතුහළය භයානකයි හඹායාම අනවශ්‍යයි නාඳුනන අමුත්තා කී හැටිත් යම් සමානකමක වදන් බව මට ඒත්තු ගැන්වෙමින් තිබිණ. නමුදු නොසැළී සිටිමට මහා ශක්තියක්ද පරිස්සම් වීමටත් ඉවක් මට තිබීම ගැන මම අද මහත් සතුටු වෙමි. ඔළු ගෙඩියත් බේරගෙන සෆ්නාවත් හොයාගෙන නිවාඩුව අහවර කළ යුතුය යන හැඟීමෙන් මං ලිපිය දිග හැරියෙමි..
ඉංග්‍රිසි බසින් වූ එම ලිපිය මා පරිවර්ථනය කළෙමි.
මා අදරණීය නිතින්.
මේ ලිපිය මගේ පළමු හා අවසාන ලිපියයි . මෙය ඔබ අතට පත්වනවිට මා දෙවියන් වහන්සේ ළඟ බව සිතමි. සැබැවින් ම හමුවූ කෙටි කාලය තුළ මම ඔබට මහත්සේ ආදරය කළෙමි. අනාගතය ගැන මහා අවධානමක් තිබෙන බව දැන දැනත් මම ඒ බව ඔබට නොසඟවා ආදරයෙන් බැඳුනෙමි.
ඔබගෙන් මා ලැබූ ආදරය වචනයෙන් විස්තර කරගන්න බැරි තරමට මහත් අපහසුතාවක සිටිමි..
ආදරණීය නිතින්.
මා මුස්ලිම් කතක් වුවත් ඒ නීති රීති වලට එකඟ නැතත් ඉන් පිටවීමට මට හැකියාවක් නොවු බව කියමි.
මා විවාහයක් සඳහා සුදානම් කලබවක් මම ඔබට නොකීවෙමි එහෙත් එවන්නක සිදුවන බව මම දැන සිටියෙමි, මට ඔබේ ආදරය හමුවේ එසේ කියා ඔබෙන් ඈත් වීමට මම අකමැති වීමි. එය මහා වරදක් බව නොසිතුවෙමි. අපි ආගම් දෙකකක් ජාති දෙකක රටවල් දෙකක.. මේ තවත් රටක. පුදුම හමුවීමක අභාග්‍ය සම්පන්න පෙරනිමිති තිබෙද්දීත් ඔබට ආදරය කලෙමි.
අපේ සම්බන්ධයට මහා කාලයක් ගත නොවුනත් මට දැනෙන්නේ පෙර ආත්මයක බැඳීමක ලෙසිනි…
ඇත්තටම අපේ ආදරයට මාස තුනකි. ඔබව හමුවූ තැන මතක ඇතියි සිතමි. මහා කුණාටුවට දුවගෙන ඇවිත් නැවතුනේ පල්ලිය ඇතුළෙයි. ඔබ එවිට එහි සිටියේ ය. ෆාදර් දරුවො සීතල නෙවද කියූ විට ඔබ ඔබෙ කබාය මට දුන් හැටි මතකය. මා ළඟ තවම ඒ සුවඳ තිබේ. අපි අපේ කතාබහේ යෙදුනෙමු. ආගිය රටවල තොරතුරු අතර ගැවසුනෙමු. මා මුස්ලිම් කතක් බව කීවා අමතක ඇතියි සිතමි. එදා අපි වෙන්වුනේ යළි හමුවන සපථයෙනි .
ආදරණීය නිතින්,
අපි අපේ නොවීම අපි අදරය කළෙමු. එය හරිම පූජනීයයි මම සිතමි. දෙදෙනෙකුට ආදරය කරන්න කායික බැඳීමක් ම අවැසි නැත. එය නැතුවද පපුව පැලෙන්න අපි ආදරය කළෙමු අපේ හැඟීම් දැනීම් හරිම පිරිසිදු වූ බවත් දනිමි. ඔබ යහපත් කෙනෙකි. අයුතු බලපෑමක් හෝ අනිසි කතාබහක් අපි නොකළෙමු. එහෙත් ඒ සියල්ල කෙටි කර නෙත් තුළින් අපි ආදරය හැඳින ගත්තෙමු. උතුරායන්න ආදරය කළෙමු. මා එයට මැරෙනතුරු ආදරය කරමි.
නිතින් දැන් මා නුඹ දමා යා යුතුය. නුඹෙන් තොර ලෝකයක අග රැජිනිය වන්නට මට අවැසි නැත. අපේ ආගමේ හැටියට අමානුෂික ශාරීරික පීඩාවක් විඳීමට මට අවැසි නැත.. එබැවින් මේ මගෙ අවසාන හා පළමු සටහන ලෙස මෙය තබමි.. අපි අපේ ලෝකයක් සොයා ගියද යහතින් ජීවත් වීමට අපේ අය ඉඩ නොදෙන බව දනිමි. එයින් ඔබගේ ජීවිතයටද කරදරයක් වන බව දනිමි.
එබැවින් මා නික්මිය යුතු බව සිතමි. මේ මා ජීවිතයෙන් පළයාමක් නොවේ. අති අමානුෂික ශාරීරික ක්‍රියාවකට දෙමව්පියන්ගේ තර්ජනයට හිස නොනමමි. එබැවින් ඔබට ගරු කිරීමක් ලෙසින්ද මාගේ පිරිසිදු ආදරය සමඟ මේ අති අමානුෂික ශාරීරික හිරිහැරයෙන් මිදිය යුතුය. මට පෝ ගඟ දිගේ ස්විට්සෙර්ලන්තයහි එය පටන්ගන්නා තැනට උඩුගම් බලා පිහිනිය නොහැක.. එසේ හැකිනම් මම ජීවිතය සොයායමි. එබැවින් පෝ ගඟේ පහළට ගමන් කිරීමට සිත හදා ගමි.
මගේ ආදරණීය නිතින්. ඔබ මේ ලිපිය බලා ෆාදර් ටම ආපසු දී ජීවිතය බේරාගෙන මේ ගම්මානයෙන් පිටවෙන්න. මතු උපදින ආත්මයක අපි අපේම වී ඉපදෙමු.
ඔබට ආදරය පුදමි
ආදරණීය සෆ්නා
 
මම එක හුස්මට කියවා ගියෙමි… ආදරය පරිසරය තුළින්ම මැවෙන චමත්කාර සිතුවිල්ලකි . සඳ කිරණ, තරු එලිය මෙන්ම ගනඳුර ද අතිශය සංකීර්ණ මනෝලොවකට පෙම්වතුන් කැටුව යන ස්වභාවික මන්පෙත්ය. ෆාදර් මා දිහා බලා සිටි බව මන් නොදුටුවෙමි
“එතකොට ..ෆාදර්….?
“ඔහොම ඉන්න ඔය ලිපියක් පමණයි… සෆ්නා ඔය ලියුම මට දීල ගියා. එදා ඇඳල හිටියෙ කහපාට සල්වාර් එකක් .. සාමයේ සංකේතය කියල එයාම ඒක හැඳින්නුවා. දෙවියන් වහන්සේට ලස්සන කහ මල් කළඹක් ගෙනත් තිබ්බා. වැන්ද . ඒත් ඈ ඇඬුවෙ නැහැ.
පස්සෙ යනකන් මං බලාහිටියා. වරක් හැරිල බැලුවා… එපමණයි…..
“ඒ කියන්නෙ ඈ ..?.
“ඔව් පෝ ගඟේ පහළට ගියා…. එයාගෙ කහපාට සල්වාර් එකෙ ෂෝල් එක ගඟ පහළ ඉවුරක රැඳී තිබ්බා . දවස් දෙකකට විතර පස්සෙ මිනිය ලැබුණා. එතනින් මේ කතාව අනිත් පැත්ත ගැහුවා.. ඈ පල්ලියට එනවා දැක්ක බව කවුදෝ කියා තිබුණා.. නිතින්ව හැමතැනම හෙව්ව… මම නිතින්ව පල්ලියෙ සඟවගෙන ජීවිතය බේරල දුන්නා.. පස්සෙ නිතින් එයාගෙ රටට යැව්වා ..ලිපිය මම තියාගත්ත.නිතින් කියෙව්වා .. පොලීසිය මගෙන් පවා ප්‍රශ්න කළා.. පසුව සියල්ල තේරුම් ගත්ත.. ඒකටත් හෙතුවක් තිබුණා. සෆ්නගෙ පවුලෙ අය ඔප්පු කලා මේ දුක්මුසු මරණයට වග කිවයුතු ඒ අය බව. මම ලිපිය රහසක් විධියට තියාගත්තා. මෙය දුටුව පිටස්තරයා අන්යා පමණයි.
ඒ සෆ්නා මියගිය වග දැනගෙන එයාගෙ දේවල් සේරම පිච්චුවා. හරිම අමානුෂිකයි මට හිතාගන්න බෑ ඒ අයගෙ දින චර්යාව.. එදා පොලීසියත් එතනට ගියා මේක කුඩා පිරිසක් ඉන්න විශාල ගමක්. මාත් එදා ගියා.. එතන ගිනි ගොඩක තිබුණ අර නමක් නැති දුඹුරු පොත මට හමු උනා.වැස්සට තෙමිලද වතුර ගහල කවුරුහරි ගින්න නිවන්න හදලද දන් නෑ .කොහොම හරි ඒ පොත මට හමු උනා. මන් ඒක අරගත්ත… ඒක තමා සෆ්නගෙ එකම පොත. අනිත් සේරම දේවල් පවුලෙ අය පුච්චල තිබ්බා..”… ෆාදර් කියාගෙන ගියා
.මම හුස්මක් නොගෙනම අහගෙන හිටියා..
මළානික එලියක් පල්ලිය පුරාම ගියා. සෆ්නා අහගෙන ඉඳල ගියා වගේ හරිම දුක්මුසුව ගහ කොළ සෙලවෙනවා වගෙ පෙනුනා. හරිම පුදුමයි.. අපි නිහඬව හිටිය හුඟක් වෙලා..
“අන්යා දැන් නුඹට කතාව ලියන්න පුළුවන්. මිනිස්සු අතර එක එක ජාතින් ළඟ තවමත් මිලෙච්ච සිරිත් තියනව. 20 වන සියවස තුළදීත්. කවදාවත් වෙනස් නොකරන අමුතු සිරිත් මේ අය ළඟ තියනවා..”.
“ෆාදර් කෝ එ අය දැන්.?.
“ගමෙන් පිට උනා. එයාලට කවුරුත් නැති උනා රැකියාවන් වලින් අයින් කළා. කොහේද දන් නෑ. එත් ඊයෙ දැකපු මිනිහා එයාලගෙ කවුරු හරි. හොයනවා තවම නිතින්ව.. ඔබ පරිස්සමෙන් කතාවට යන්න එපා. සෆ්නා ගැන අහන්න එපා. අර දුඹුරු පොත ඔබ ගෙනිච්ච දවසෙ එයා පල්ලියෙ හිටිය දකින්න ඇති. සැකය ඔස්සේ දුවනවා.. ඔබ කුතුහළය ඔස්සේ දුවල මේ කතාව හෙව්ව වගේ “..
ෆාදර් හිනා උනා.
 
 
“ඔව් ෆාදර් මන් පරිස්සම් වෙන්නම්. මේක මෙතනින් අවසාන කරමු.. දැන් සේරම සිද්ද වෙලා ඉවරනෙ. මන් ලියන්නම් මේක එච්චරයි..”
“හොඳයි දරුවා. … ඔබට මන් හිතන්නෙ මේ මොහොතෙත් මගෙ ආරක්ෂාව ඕනි.”
“ඔබ කවද්ද ආපහු යන්නෙ .?.
“ලබන සතියෙ ෆාදර්.. ඊට පස්සෙ මං අපේ රටට යනවා.
නිවාඩුවට මෙහෙ එනවා.”.
“එතකොට දෙමව්පියො..?”
“ආ ඒ අයත් යනවා. හිටිය ඇති කියල එයාල කියනවා”
“හොඳයි ඔබ එහෙනම් ආපහු එන් නෑ මෙහෙට “.
“නැතිවෙයි ෆාදර් නවතින්න නම් එන් නෑ. එහෙත් ඔබ දැකල යන්න අපි එනවා.”
“හොඳයි. යමු එහෙනම් . මම ඔබව ඇරලන්නම් ගේ ළඟට මාත් ටවුන් එකට යනවා.”
“ස්තුතියි ෆාදර්. ඔබ වඩාත්ම මගෙ ආරක්ෂාව බැලුව මං හිතන්නෙ” .. මම හිනාවෙලා කීවා 
“ඔබ හුඟක් බුද්ධිමත් දරුවෙක්..” හා හා ඔහු හයියෙන් හිනා උනා.
…………………
.
ආයුබෝවන් පවියා ගම්මානයට.
සෆ්නාගෙ කතාව එතනින් හමාර වුවද නාදුනන මිනිසාගේ හැසිරීම මා බියගන්වන සුළු විය. දිනක් උදයේ ම ජනේලය අරිද්දි නාඳුනන මිනිසා අපේ වැට අද්දර බලා සිටියේය. මා තැති ගත්තා යයි නොකියමි. එහෙත් මරණ බිය ප්‍රථම වතාවට දුටුවෙමි. හිතේ කුකුසත් මහා බයක් ඇතිවෙද්දී මම සෙමින් ජනේලයෙන් මෑත්ව දුරකථනයෙන් ෆාදර්ට ඇමතුවෙමි.
“කළබල වෙන්න එපා.. මම පොලීසියට කියන්නම් මං ඊයෙ මේ ගැන කියා තිබුණා. ඔබ එළියට යන්න එපා.”
අම්ම එන්නට ප්‍රථම මේ මිනිසා ගියහොත් හොඳයයි මම සිතුවෙමි. පැය බාගයක් තුළ පොලීස් රථයක් දුටිමි. හැඳුනුම් පත පිරික්සූ ඔවුන් නාඳුනන මිනිසා රැගෙන ගියේය,, මම සැනසුම් සුසුමක් හෙළීමි.
ෆාදර් ඒ සැනින් ආවේය..
“අන්යා ඉක්මනින් ඔයාල රටින් පිටවෙන්න.. මම දෙමව්පියන්ට කියන්නම්..”.මා එවර නම් එක පයින් ඊට කැමති වීමි. ගෙදර එකම කාල විජ්ජුම්බරයකි. අම්මා යකා ආවේශ වූවා වැනිය. තාත්තා කිසිත් නොකියා බලාගත්වනම සිටියේය. මා නොදන්නා බොහෝ දෑ ගේ ඇතුළත සිදුවෙමින් තිබුණි.. අනපේක්ෂිත ලෙස මහා බියකරු දෑට මුහුණ දීමට ගෙදර අය ලැහැස්ති වෙමින් තිබුණි.. මට ගෙදරින් පිටවීමට තහනම් විය. කතාකල හැකි වූයේ ෆාදර් හා පමණි. මගේ දුරකථනය පවා අම්මා අයින් කර තිබුණි. අයින් කලා නොව උදුරගත්තා කීවොත් නිවැරදිය..
  අම්මා ගෙදරම නවතුනාය. කුමක් හෝ මට නොකියූ දෙයක් ගේ තුළ සිදුවන බව දැනුණි.. සෆ්නාගේ දුඹුරු පොත මහ කළබැගෑනියක් කරන බව දැනින. අම්මා දවසකට දෙවරක්වත් යාතිකාව පටන් ගන්නීය. තාත්තා නම් වචනයකුදු කතා නොකළේය..
“අන්යා ! බඩු අස් කරන්න අපි ගෙදර යනවා..!”
“හොඳයි ! කීවා මිස ඇයි කියා මම නොඇසුවේ ගෙදර යන බව කල්තියා දැනසිටි නිසාවෙනි.. එහෙත් මේ තරම් ඉක්මනට යාවියි මා නොසිතුවෙමි. ඔව් යමක් තේරුම් කර දෙමින් තිබුණි.
 
ස්වභාවධර්මය පවා මහා කතාවකට අර අඳිමින් තිබුණි.
ඈත නොපෙනෙන තිරිඟු යායේ ශබ්දයට පවා මම බියව සිටියෙමි. කුමක්දෝ නොපෙනෙනා අද්භූත බලයකට මාව හිරකර ඇතියි බොහෝ වර සිතුනි. මේ මගේ මනස කළබල නිසාද මගෙ ජීවිතයට අනතුරු බව හඟවන නිසාදැයි නොදනිමි. කෙසේ වෙතත් මා සම්පූර්ණයෙන් ම වෙනස් නිහඬ චරිතයකට පත්වෙමින් තිබුණි…. කොටින්ම රෑට මා හා නිදා ගත්තෙත් අම්මාත් තාත්තාත් මැදිවයි. ඔවුන් ඒ තරමට මා ආරක්ෂා කලහ.
“අන්යා !!. ජනේලෙ අරින්න එපා. ඒක උඩට නගින්නත් එපා. මේ පැත්තට වෙලාම ඉන්න ඕනි . තේරුණාද..? ගෙයින් පිට යන්න එපා මේ දවස් ටික “.
“පුතේ අපට ඉන්නෙ ඔයා විතරයි .. අපි අපේ රටට යන්න ඕනි..”.
අම්මා සම්පූර්ණ සන්සුන් කතාබහකට මාරුවෙමින් තිබුණි.. ඈ යම් භීතියකින් සිටි බවත් ඇගේ ඇස් වලින් දුටිමි -.බොහෝ අඩුවෙන් කොටින්ම මා කතා නොකල තරම්ය.. ගතවූ දෙමසක කලක් මහ විපර්යාස අපේ ගෙදර විය.
පල්ලියට හෝ කිසිම විටක මේ දෙමස තුළ එළියට නොගියෙමි. ෆාදර් විටින් විට අපේ නිවසට පැමිණි අතර මගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවන බව පැවසීම අපට මහත් අස්වැසිල්ලක් විය. එක අතකින් මා කිසි වරදක් කර නැත.
සෆ්නාගේ දුඹුරු පොත මගේ ජීවිතයම කණපිට පෙරළා ඇති සැටියක්. මාධයවේදිනියක් වීම අසීරු තරමටම එහි නිරත වීම ජීවිතය හා මරණය අතර සටනක් බව මට අවබෝධ වෙමින් තිබුණි. කොටින්ම ෆාදර් මෙවන් අවධානම් කටයුතුවලින් ඈත් වීමට නිතර මට වටෙන් ගොඩින් කීවේ ය. එය මුලදි විශ්වාස නොකලත් දැන් දැන් එහි සත්‍ය මට අවබෝධ වෙමින් තිබුණි.
ඇත්තටම සෆ්නාගෙ මරණයහි අබිරහස අපි තිදෙනෙක් දනිමු.එහෙත් නාඳුනන මිනිසා එය අපෙන් පිටවීම වළක්වන්නට අර අඳින බව අවසානයේදි පසක් කර ගතිමු. චූදිතයෙක් නොමැති නඩුවක් ගෙනයාම නිශ්ඵල බව අවසානයේදි තෙරුම් ගතිමු. කලයුත්තේ ජීවිතය බේරාගෙන පිටවීම පමණක් බව අන්තිම නිගමනයට ආවෙමු. හදවතට එකඟව ජීවත්වන මිනිස්සුන්ගෙ ජීවිත පරිසරය තුළ හැමදාමත් ආදර මල් පිපෙනවා. ඒත් ඒ අය ඒ මල් ඉඹින්නෙවත් නැතිව පූජා කරනවා. ඔව් හදවතට එකඟව ජීවත්වන මිනිස්සු ආදරයට ඒතරම්ම බැතිමත්. සෆ්නලාගේ ආදරය එලෙසයි සිතමි.

Nissanka Rajapaksa

unread,
Oct 16, 2024, 9:01:29 PM10/16/24
to INDRAKA group
49

බෝනික්කා---ඉෂූ රත්නායක---

ඉෂූ රත්නායක
කුරුණෑගල

ඉර අවර ගිලෙමින් තිබුණි. කොල්ලෝ කුරුට්ටන්ගේ කෑ කෝ හඬ ගම්මානය පුරා විහිදෙමින් සැදෑවේ නිසල බව පහව ගොස් ඇත.
” සිරිමලෝ…… සිරිමලෝ….. ”
අම්මාගේ හඬ කොල්ලන්ගේ උසුළු විසුළු හඬට වඩා උස්ව, ගෙපැල දෙසින් ඇසේ. එතරම් උස්ව හඬ නගන්නේ මන්දැයි සිරිමලා උත්සුක වූහ. ඒ හඬ දිගේ දෙපා නැගුණේ ඉබේටම ය. අම්මා ගැබ්බර වී දැන් මාස පහ හයකට නොඅඩු ය. ඉදිරියට නෙරාවිත් තිබුණ උදරයටත් අත්ල තබාගෙනම එළිපත්තේ කණුවකට සේන්දු වී නොනවත්වා ම හඬ නගන කුසුමලතාව, නෙත ගැටුන සිරිමලා උත්සුක වූහ.
” ඇයි අම්මේ, කෑ මොර දෙන්නේ ? මොකදෑ වුනේ ”
දුර තියාම ඒ ගැන අසමින් සිරිමලා කුසුමලතා ළඟට පැමිණියේ ය.
” මං මෙච්චර වෙලා උඹට කතා කරා, ඇහුනේ නැද්ද? කව්දෝ දෙතුන් දෙනෙක් ඇවිත් අප්පොච්චාව වාහනේක දාගෙන අරං ගියා. කවුද කියලා ඇහුවත් කීවේ නෑ. ඇවිත් අප්පොච්චා එක්ක කුටු කුටු ගෑවා. ටික වෙලාවකට පස්සේ අප්පොච්චාව බලෙන් ම වගේ වාහනේට දා ගත්ත ”
කැඩුන වචන වලින් කුසුමලතා ඒ ටික කියා ගත්තේ බොහොම වෙහෙසින් වගේ.
” උන් කොයි අතටද ගියේ ? අප්පොච්චා මොකොවත් කිව්වේ නැද්ද ? මොක්කද ආපු වාහනේ? ”
සිරිමලා එක හුස්මට ප්‍රශ්න නඟයි.
” උඹලයේ අප්පොච්චා කිව්වා බය වෙන්ට කාරි නෑ. කලබොල නොවී ඉන්ඩ කියලා. මං විගහයින් එන්නම් කිව්වේ. සුදු පාට වෑන් එකකින් තමා උන් ආවේ. ඕන් ඔය පැත්තට තමයි ගියේ ”
කියමින් කුසුමලතා පාරේ අනෙක් අතට අත දිගු කලාය.
” හිටින්කෝ, මං ගිහින් ටිකක් ඒ දොහ ටිකක් සෝදිස්සි කොරලා එන්ඩ ”
කුසුමලතාගේ වචනත් එක්කම සිරිමලා යුහුසුළු විය. සිරිමලාට යා හැකි වූයේ ටික දුරකි.
” ආ…..න්, උඹලයේ මහ එකා තුන්තොට පාලම ළඟ වැටිලා ඉන්නවලු. ඕකුන්ගේ ඔළුව ඉදිමිලානේ. අපි කිව්වට ඇහුවෙ නෑ. අපේ මේ කෙස් නිකට පැහුනේ අකලට නෙමෙයි බොලව්. ගියා සාධාරණ සමාජ හදන්ඩ. දැන් ඉතින් විඳවපල්ලකෝ. ”
සිරිමලාට මුණ ගැසුන සේතං ගොයියා, එසේ කියමින් යන්ඩ ගියේ ය.
සිරිමලා එතැනට යන විටත් එතැන සිටි වුන් විජේවර්ධනව ඉස්පිරිතාලෙට ගෙන ගොස් තිබුණි. කුමක් කරන්දෝ ලතවෙමින් සිටි සිරිමලා පුට්බයිසිකලේ ආපසු හරවාගෙන ගෙදර ආවේ ය. ඒ වන විටත් සිදු වූ පැටිකිරිය කුසුමලතාගේ කන වැකී හමාරය.
” මං කොච්චර නම් කිව්වද උඹලයේ අප්පොච්චාට ඔය කළු ගල් වල ඉහ ගහ ගන්න එපා කියලා. කොච්චර නරකාදියෝ වුනත් ගමේ එකාලා ගොඩක් දෙනෙක් උන්ගේ පැත්තේ. මනාප ඉල්ලන උන් කොහෙවත්. මුන් තමයි වලි කා ගන්නේ. සමහර ඇහැටවත් දැකලා නැති එකාලා නිසා, ගමේ උන් ගහ මරා ගන්නවා ”
කුසුමලතා දෙස් දෙවොල් තබමින් දෙවට දිගේ යයි.
” දැන් ඕවා කියලා කාරි නෑනේ. දැන් ඔය කරුවලේ කොහේදෑ යන්ට හදන්නේ? ”
සිරිමලා කුසුමලතාගේ පාර හරස් විය.
” උඹ ඔය නංගිත් එක්ක හිටින්කෝ ගෙදරට වෙලා. මං ලොකු අප්පොච්චාවත් එක්හාසු කොරගෙන ඉස්පිරිතාලෙට ගිහින් එන්නම් ”
හිත දැඩි කරගත් කුසුමලතා එසේ කියා පය ඉක්මන් කෙරීය.
* * * * * * * * * * * * *
හීරියගොල්ල ගම්මානයම ඝණ අඳුර ගිල ගනිමින් තිබුණි. මඟතොටකවත් කිසිදු මිනිසෙකු ඇස ගැටෙන්නට නැත. ඉඳහිට මහ පාරේ යන වාහනයක හඬ යාන්තමට ඇසේ.
දුකට මුසු වූ පීඩනයත් එක්කම රෝහල වෙත ලංවෙන්න ලංවෙන්න කුසුමලතාගේ පපුව ගැහෙන වේගය වැඩි විය. ඒ එන අතර මඟ විජේවර්ධනට දුකක්, කරදරයක් නොවේවායි යැදපු වාර අනන්තය.
පාදයක් අහිමිව ඇඳක වැතිර සිටි විජේවර්ධනව දුටු කුසුමලතා විලාප තබන්නට විය. එහෙත් ඒ ලතෝනිය විජේවර්ධනට මේ අපරාධය කල එකෙකුටවත් නම් ඇසුනේ නැත.
ඊට සති තුනකට පසුව කුසුමලතා විජේවර්ධනව ගෙදර එක්කං ආවේ පාදයක් නැති තම සැමියාත්, නූපන් දරුවා හා අනිත් දරු දෙදෙනා සමඟ ජීවිත සටනට කෙසේ හෝ උර දෙනවායැයි දැඩි අධිඨනයකින් යුතුවය.
පසුදා දහවලේ ගෙපැල ඉදිරියෙන් ඇහුන වාහන සද්දෙට පිලිකන්නේ සිටි කුසුමලතා ගෙට ඇතුළු වූයේ ‘ඒ කවුදැයි’ යන සැකයෙනි. කුසුමලතාට ඔහු හඳුනා ගත හැකි වූයේ ඊට පෙර දිනක විජේවර්ධනත් සමඟ මන්ත්‍රීතුමාගේ වැඩසටහනකට පැමිණි වෙලාවේ පියල් කුසුමලතාගේ ගෙපැලටත් ගොඩ වැදුන නිසා ය.
ඔහු මලු කිහිපයක් කුසුමලතාගේ අත තබමින්,
” දැන් කොහොමද නංගියේ විජේට?”
යැයි ඇසීය.
” කියන්න තරම් හොඳක් නෑ අයියේ ”
යැයි කුසුමලතා අමනාප ස්වරූපයෙන් පැවසුවාය.
‘ සති දෙකක් ගෙවිලා ගියා. දැන් තමයි මතක් වෙලා තියෙන්නේ. නැහීගෙන උන්ට කරනකම් හොඳයි. දෙයක් වුනහම මොකෙක්වත් නෑ. ‘
කුසුමලතාගේ යටි සිත කසු කුසු ගෑවාය.
විජේවර්ධනගේ සුව දුක් විමසමින් අඩ හෝරාවක් පමණ සිටි පියල් යන්නට සැරසුණේ ය.
” මේ රුපියල් දෙදාහ තියාගන්න නංගියේ. මේ දවස්වල මදි පාඩුත් ඇතිනේ. මං හෙට අනිද්දට ආයෙත් ඇවිත් යන්න එන්නම්කෝ. මන්ත්‍රීතුමාත් එනවා කිව්වා අද හෙටම විජේව බලලා යන්න. එතුමාටත් ඉතින් එක රාජකාරියන් නොවෙයිනේ තියෙන්නේ. මේ දවස් වල ඕසේට වැඩ…. ”
යැයි කියමින් පියල් කුසුමලතාගේ අත රුපියල් දෙදහේ කොලයක් තබා ගෙයින් පිට විය.
මිදුලේ කොනක කොහොඹ ගස් සෙවනේ සෙල්ලම් කරමින් සිටි පුංචි සාරා ඔහුගේ නෙත ගැටුනේ අහම්බෙනි. කුසුමලතාගේ දියණිය වන සාරා අවුරුදු හතරක පමණ සිඟිති දැරියකි. පරණ බෝතලයක් තුරුළු කරගෙන, දරු නැලවිල්ලක් කියන ඈ ළඟට ආ නඳුනන පුද්ගලයා දැක ඇය තරමක් තැති ගත්තාය.
” දූ සෙල්ලම් කරනවාද? ”
ඔහුගේ පැනයට පුංචි සාරා ඔළුව වැනීය.
” දූට සෙල්ලම් කරන්න බෝනික්කෙක් නැද්ද? ”
ඇය තුරුළු කරගෙන සිටි පරණ බෝතලය දැක ඔහු යළිත් විමසීය.
ඇය නැවතත් නෑ කියන්නට මෙන් ඔළුව වැනීය.
” මං ඊලඟ දවසේ එනකොට දූට ලස්සනම ලස්සන බෝනික්කෙක් ගෙනත් දෙන්නම්කෝ ”
කියමින් සාරාගේ හිස අතගා ඔහු යන්න ගියේය.
දින සති මාස ගෙවිලා ගිහින්. පුංචි සාරා වාහන සද්දෙට හැමදාම කඩුල්ල ළඟට දුවගෙන එනවා, ලස්සනම ලස්සන බෝනික්කෙක් ගෙනත් දෙනවා කිව්ව මාමා එනවද බලන්න.
කොච්චර මඟ බලාගෙන හිටියත් ඒ මාමාවත්, ඒ මාමාගේ වාහනේවත්, එනවා කිව්ව මන්ත්‍රී කෙනෙක්වත් පුංචි සාරලාගේ ගෙදරටනම් ආයේ ආවේ නෑ.





Nissanka Rajapaksa

unread,
Oct 17, 2024, 8:15:09 PM10/17/24
to INDRAKA group
50
අපායම බංකොලොත්

එම්. ජී. ඒ. තිලංක

හාත්පස තද කළු අඳුරත්, යකඩ උණුවෙන රක්ත වර්ණ පැහැයත්, හැළියේ ගොජ ගොජ ගා නැඟෙන ලෝ දිය රත්වෙන හඬත්, විලාප නඟා කෑමොර දෙන නරපණුවන්ගේ වේදනාත්මක කෑමොර දීමත්, යමපල්ලන්ගේ කඨෝර අණදීමත්, මූසල පරිසරයක නිමිති පහළ කර හමාරය. මේ මොහොතේ ද පවුකාරයෝ කටු ඉඹුල් ගහේ කටු ඇනි ඇනී ඉහළටත් පහළටත් ලේ පෙරාගෙන නඟිමින් බසිමින් සිටිති. යමපල්ලන් දෙදෙනෙක් පසෙකින් ලොකු කියතක් ගෙන පවුකාරයකුගේ ශරීරය කපා වෙන් කරති. තවත් පසක යමපල්ලෝ නරපණුවන් පෝලිම් ගස්වා ලෝ දිය බලෙන් පොව්වති. විවේකයක් නොමැතිව පවුකාරයන් නොයෙකුත් වධ බන්ධනයන්ට ලක්වන, නම ඇසූ පමණින් ලොකු කුඩා සෑම නරපණුවකුගේම ලෝම ඩැහැගැන්වෙන මාරයාගේ වාසභූමිය දැඩි කලබලකාරී බවකින් දිස්වීම සාමාන්‍ය සිදුවීමකි.

එතන සිට අපාය කඩි ගුලක් ඇවිස්සුණාක් මෙන් කලබලය; නොසන්සුන්ය. යමපල්ලන් ද අතොරක් නොමැතිවම තම රාජකාරි ඉටු කරමින් සිටි.

“උතුමාණෙනි, උතුමාණෙනි”

මාරයා මාරාංගනාවන්ගේ සිත්කලු නර්තනයටත්, කන්කලු ගායනයටත් සවන් දෙමින් විවේකීව මන පිනවමින් සිටිනා මොහොතේ තමා වෙත කලබලයෙන් දුවගෙන පැමිණි යමපල්ලකුගෙන් “යමපල්ල තෝ මේ ලෙස බෙරිහන් දෙන්නේ කිමදැයි?”පෙරළා ප්‍රශ්න කරන්නට වූයේ මහ කරදරකාරයකු දෙස බලන්නාක් මෙන් කෝපයට පත්ව රවා බලමිනි.

“අපායට අධිපති මාරදේව පුත්‍රයාණෙනි, ගැත්තාට අනුකම්පා කරනු මැන. ලෝක සිතියමේ අඹ ගෙඩියක් වගේ හැඩේ තියෙන රටක් දැන් දවස් ගණනක ඉඳලා තද රතු පාට වෙලා තියෙන්නේ. එහේ උන් ඔක්කෝම මෙහෙට ආවොත් අපායම උන්ගෙන් ම පිරෙනවා”

“හ්ම් හ්ම්. ඒකට කමක් නෑ. කොහොමත් මේකට එන්න ඉන්න ඈයොනේ”

“එහෙමයි උතුමාණෙනි”

“ඔය එන නරපණුවෝ සේරොම නරයන්ගේ රටේ උන් බෙදෙන හැටියටම බෙදලා විභාගයට ගන්නකම් ඒ ඒ තැන්වලට දානවා”

“හොඳමයි උතුමාණෙනි” යමපල්ලා මාරයාට ගෞරව දක්වා තම රාජකාරිය ඉටු කිරීම සඳහා ඉක්මනින් පිටත් විය. යමපල්ලන් විසින් අපායට අලුතින් පැමිණි නරපණුවන් යම රජුගේ උපදෙස් පිට දේශපාලකයන්, රජයේ සේවකයන්, වෘත්තීය සමිති නායකයන්, පූජකයන්, කලාකරුවන් ලෙස වෙන් කර අඳුරු කුටිවලට දමා උන්ගේ පවුකාරකම් සිහිපත් කරවන්නට විය.

වැඩි වෙහෙසක් නොගෙනම නරපණුවන්ගේ පැටිකිරියාව අනාවරණය කරගන්නට යමපල්ලන්ට හැකිවිය. විනිශ්ච සභාව ඉතා ඉක්මනින්ම පවත්වන්නට තීරණය කර දින හා වේලාවන් නියම විය.

නියමිත දින නියමිත වේලාවට යමරජු විනිශ්චය ශාලාවට පැමිණෙන මොහොත ආසන්න වෙත්ම යමපල්ලෝ භයානක හඬ නංවමින් ආයුධ එකට එක හප්පමින් යක්බෙර ගසමින් යමරජ්ජුරුවන් පිළිගන්නට සුදානම් වූහ. මාරයා ද මහත් තේජසින් විනිශ්චය ශාලාවට පැමිණ පාපකර්ම නිසා අපායට වැටුණු නරපණුවන් දෙස බිහිසුණු බැල්මක් හෙළා තම ආසනයෙහි වාඩි විය. වන්දිභට්ටයන්ගේ මාරාභිමාන ගී ගායනයෙන් පසුව විනිශ්චය සභාවේ කටයුතු ආරම්භ කරන ලදි.

“උතුමාණෙනි සුදු ඇඳ ගත් බඩ තඩි උන් ටික එහේ මන්ත්‍රීවරුලු. මේ පැත්තේ මරුමුස් පෙනුමක් තියෙන උන් වෘත්තීය සමිතිවල අයයි. කපටි මූණවල් තියෙන අය ආගමික පූජකයෝයි. අනිත් පැත්තේ ඉන්න උන් රාජ්‍ය සේවකයෝ. ඔය ටික ටික ඉන්නේ ගොවියොයි කම්කරුවොයි. යාන්තම් වෙළෙඳාමක් කරගෙන ජීවත් වෙච්ච උනුයි” යමපල්ලෙක් මාරයාට පවුකාරයන් හඳුන්වා දෙමින් පැවසීය.

“හොඳයි හොඳයි. ඔය මන්ත්‍රී නරපණුවන් පෝලිම් ගස්සලා එක්ක ආවනං. එහෙදිත් පාරක තොටක යනකොට පුදුම හදිස්සියක්ලු තියෙන්නේ. වාහන හැට හුට හමාරක් එක්ක හෝන් ගහ ගහ මුන් පාරේ යන්නේ හරියට මහජනයට මේ දැන් සේවය කරන්න වගේ. ප්‍රාඩෝ නැත්නම් කොන්දේ ආමාරුව හැදෙනවයි කියලනේ මුන් කියන්නේ” මාත් ඔය මන්ත්‍රීන්ගේ පැටිකිරියාව දැනගත්තේ මනුලෝකේ ගිහින් ඉඳපු කාලේ එහේ පත්තරයකින්. මාරයා තරමක් ආවේගයෙන් පවසා අවසාන වෙත්ම යමපල්ලෝ එතැන සිටි හිටපු මන්ත්‍රීවරු පෝලිම් ගස්වා මාරයා ඉදිරියට ගෙන එන ලදි. නරපණුවන් බොහෝමයක් මන්ත්‍රී පෝලිමේ සිටිනු දුටු මාරයාට මහත් පුදුමයක් ඇති විය.

“යමපල්ලනි නුඹලාට වැරදිලාවත් ද?

“ඇයි උතුමාණෙනි”

“මෙතෙන බාගෙකටත් වඩා ඉන්නේ මන්ත්‍රීවරුනේ?”

“නෑ උතුමාණෙනි මේ සේරෝම මන්ත්‍රීවරු. ටිකක් පාර්ලිමේන්තු බහුතරය පලාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු. මාරයා දඬුවම් විනිශ්චයට පෙර මන්ත්‍රී පෝලිමේ මුලින්ම සිටි නරපණුවා දෙස හැරී තමන් මොන පක්‍ෂයේදැයි විමසුවේ නරලෝකයේ පක්‍ෂ දේශපාලනය පිළිබඳ දැනුවත්කමක් තිබූ නිසාවෙනි.

බියට පත්ව දැනටමත් සුළු දියෙන් තම ශරීරය තෙත් කර ගෙන සිටි බඩ තඩි නරපණුවා දහඩිය පිසදමා “නිල් කොළ රතු කොළ නිල් කහ කොළ නිල්”යැයි ගොත ගසමින් පවසන විට මාරයා නැවතත් පුදුමයට පත්ව යමපල්ලන් දෙස බලන්නට විය “උතුමාණෙනි, මේකා බලය තියෙන පැත්තට පැන පැන මන්ත්‍රී ධුරගත්ත එකෙක්. පක්‍ෂයක් නෑ. එක ප්‍රතිපත්තියක් නෑ. එ්කයි ඔය පාට ගොඩක්. මෙතන ඉන්න උන්ගෙන් සියයට අනූනවයක්ම පාට ගොඩක් තියෙන උන්” යැයි පැවසූවේ නරලෝකයේ සියලුම පුවත් තමා දන්නා බව මාරයාට අඟවමිනි. තවත් කිසිවක් නො විමසූ මාරයා දඬුවම් දීමට පෙරාතුව පවුකාරයන් කළ වැරදි මොනවාදැයි විමසූවේ නරපණුවන්ගේ පවු සොයා බැලීමට පත් කර සිටි යමපල්ලාගෙනි. “අල්ලස්, ස්ත්‍රී දූෂණ, හොරකම්, මැරකම්, මිනීමැරුම්, බොරුකීම්” යමපල්ලා මන්ත්‍රී පවුකාරයන්ගේ වැරදි ලිස්ට් එක කියවාගෙන යද්දී තම හස්ත සංඥාවෙන් එය නවත්වා දැමූ මාරයා මන්ත්‍රී පවුකාරයන්ට දැඩි දඬුවම් නියම කළේය.

වංචාකාරයන්ට ලෝදිය පෙවීමට නියම කෙරිණි. “උතුමාණෙනි මේ රාජ්‍ය සේවකයොත් වෘත්තීය සමිති නායකයොත් දේශපාලනඥයන් නිසාම තමයි මෙහේට ඇවිත් තියෙන්නේ. ගල්, වැලි, ගස් කපන්න, වතුර ගන්න හොර පර්මිට් දීලා. අත්සන් යොදලා, බියගන්වලා අපාය සහායක මිත්‍රයෝ ආශ්‍රය කරලා මේ නස්පැත්තියට මුහුණ දෙන්න රාජ්‍ය සේවකයන්ට සිදුවෙලා. ඔය දැන් කියන්නේ ගස් බැඳගත්තේ නෑ, බැන්දා කියලා. වෘත්තීය සමිති නායකයෝ නම් පොදු දේපළ විනාශ කරලා, රට දියුණු වෙන්න දෙන්නේ නැතිව පිකට් කරලා රට කාබාසිනිය කරපු නිසා ඒ පවටම එහෙන් මෙහේට ඇවිත්. ආයි ඉතින් මේ නරපණුවන්ට මනුස්ස ආත්මයක් ලබා ගන්නවා කියන්නේ කල්ප කාලාන්තරයකටවත් වෙන්නැති දෙයක්. අපට තමයි මේ පවු ගෙවන්න වෙන්නේ නිවාඩුවකුත් නැතිව” යමපල්ලා ඉතිරි පවුකාරයන් පිළිබඳවත් මාරයා දැනුම්වත් කරන්නට විය. මාරයා අපායේ ව්‍යවස්ථාව බලා පවුකාරයන් සිදු කළ වරදට ගැළපෙන දඬුවම් නියම කර විනිශ්චය සභාව අවසන් කළේය.

අපායේ දැන් දැන් යකඩ පිරිමැද්දෙන හඬ නිතර ඇසෙන්නට ලැබේ. ලෝ දිය හැළිය ද නිතර උණුවෙමින් තිබේ. අපායම නරපණුවන්ගෙන් මෙතරම් පිරී තිබූ අවස්ථාවක් යම ඉතිහාසයේ කිසිදිනක සඳහන්ව නොමැත. මෑතකදී පැමිණි පවුකාරයන් බොහෝ පවුකම් කර තිබූ නිසා විඳිය යුතු දඬුවම් වැඩි වූ අතර අධිකව අපායේ සම්පත් භාවිත කිරීම නිසා බොහෝ ඒවා අබලන් තත්ත්වයට පත්විය. සමහරක් දඬුවම්දීමට ප්‍රමාණවත් නොවීය. එම නිසා කටුඉඹුල් ගහ අලුත්වැඩියා කිරීමටත් අලුතින් ලෝ දිය හැළි කිහිපයක් ද මිලට ගැනීමටත් තීරණය කරන ලදි. අපායේ ඇති වූ මෙම නොසන්සුන්තාව නිසා හදිසි රැස්වීමක් කැඳවීමට මාරයාට සිදු විය. රැස්වීමට දිනයක් නියම කළ මාරයා එදිනට අපායේ සියලු කාර්යභාර නිලධාරීන්ගේ පැමිණීම අනිවාර්ය කළේය.

නියමිත දින නියමිත වේලාවට අපායේ මාරසභාව ආරම්භ විය. මාරයා පළමුව අපායේ නවතම තතු පිළිබඳ කෙටියෙන් සභාව දැනුම්වත් කර අදහස් හා යෝජනා ඇත්නම් සභාවට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය. “උතුමාණෙනි අඹ ගෙඩියක් වගේ තියෙන රටෙන් ආපු උන්ට කොච්චර ලෝ දිය පෙව්වත් උන් ආයෙත් ලෝදිය ම ඉල්ලනවා. පස්සේ බැලින්නම් එහේදිත් උන් කසිප්පු කියලා ජාතියක් බොන්න පුරුදු වෙලා ඉඳලා තියෙනවා. ලෝ දිය බීලා උන්ගේ ඇඟ ඇතුළෙ තියෙන ඉන්ද්‍රියන් පිච්චුණාට උන්ට ගානක් නැහැ. මේකෙන් උනේ උන්ගේ බඩ සුද්ධ වුණු එක විතරයි. ඒ පැත්තේ නහයක් කටක් ඇරන් ඉන්න බැහැ පළාතම ගඳයි” ලෝදිය හැළි භාර යමපල්ලා තම අවනඩුව මාර සභාවට ඉදිරිපත් කළේ බැරෑරුම් ස්වරූපයකිනි.

කටුඉඹුල් ගහ හා ආයුධ භාර යමපල්ලන් ද තම අවනඩුව ඉදිරිපත් කරමින් පැවසුවේ “වෙන උන් වගේ නොවෙයි කාපු ජරාවේ තරමට උන්ගේ හම් කිඹුල්ලන්ගේ වගේ ගොරෝසුයි; හරිම තදයි” ඒක නිසා කටුඉඹුල් ගහේ උල් බොහෝමයක් කැඩී බිඳී ගොස් ඇති බවත්, බොහෝමයක් ආයුධ මොට වී ඇති නිසා නැවත මුවහත් කිරීමට සිදුව ඇති බවත් සභාවට දන්වන ලදි. සියල්ල සාවධානව අසා සිටි මාරයා අවසානයේ පැවසුවේ “ඉස්සර නම් මම මිනිස්සු පින් කරන කොට ඒවට බාධා කළා. සිල්වතුන් භාවනා කරන කොට භයානක ශබ්ද රූප මවලා කුසල ධර්ම වඩන එක නැවැත්තුවා. මම එහෙම කළේ උන් දිව්‍ය ලෝකෙට යන එකයි, නිවන් දකින එකයි නවත්තලා අපායට ගෙන්න ගන්න ඕන නිසා. ඒත් දැන් නරයෝ මනුලෝකෙම අපායක් කරලා. පවුකාරයෝ එහෙත් සදාචාරය, ගුණධර්ම, දේශපාලය, ආර්ථිකය, බැංකු බංකොලොත් කරලා ඇවිත් එ්ත් අවසානේ උන් මගේ අපායත් බංකොලොත් කළා එහෙනම්” මාරසභාව ද මාරයාගේ අදහස හිස් වනමින් එකහෙළා අනුමත කරන්නට විය.

අවසානයේ ගැටලුවට ගත හැකි ක්‍රියාමාර්ග සාකච්ඡා කොට කඩිනමින් පියවර ගැනීම සඳහාත් අපාය තවදුරටත් බංකොලොත් නොවීමට ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත් කිරීමට මාරසභාව තීරණය කළේය. උත්ගත වූ අනපේක්‍ෂිතභාවයෙන් ශක්‍රදේවේන්‍ද්‍රයා නරපණුවන්ගේ පැත්ත ගෙන සභාග මාරාණ්ඩුවක් පත්කරාවි යැයි හටගත් අනිසි බිය නිසාවෙනි. මාරසභාවට මෙලෙසින් අනිසි බියක් ඇති වූයේ නිකරු‍‍ණේ නොවේ. අපායේ දින කැලැන්ඩරයෙන් මීට වසර දෙදාස් හතළිස් අටකට පමණ පෙර ශක්‍රයාගේ ඒකාධිපති බලය පැරදවීමට මාර දේවපුත්‍රයා ද තම ඡන්දය ලබා දී තිබුණු හෙයිනි. එම නිසා ශක්‍රදේවේන්‍ද්‍රයා මාරයාට කිහිපවරක් දූතයන් එවා ඉල්ලා සිටියේ දිව්‍යලෝකයට පැමිණ අමෘතය බී ඒ ගැන සාකච්ඡා කරන ලෙසයි. අසුරේන්‍ද්‍රයාට ද මෙලෙසින් සාකච්ඡාවට යැයි පවසා ගෙන්වා ගෙන අමෘතය පොවා ඔහුත්, ඔහුගේ රාජ්‍යයත් යටත් කර ගැනීම නිසා මාරයා ශක්‍රදේවේන්‍ද්‍රයාගේ යෝජනාවට කැමැති නොවීය. පවුකාරයන් අතර මන්ත්‍රී පවුකාරයන් ද සිටීම මාරයාගේ බිය තවත් වැඩි කරවන්නට හේතු විය. එම නිසා තාවකාලිකව අපාය අමෘතය තහනම් කිරීමටත් මන්ත්‍රී නරපණුවන් තාවකාලිකව අපායේ සේවයට බඳවා ගැනීමටත් කළුගෝණි බිලි බයක් අපාය පුරාවටම ඇති කිරීමට හා ඕනෑම සත්ත්වයකු කීතු කීතු කර බුදිනා මිනීමරු බල්ලන් සහිත කූඩුවක් ද මාරභවනේ ස්ථාපනය කිරීමට තීන්දු විය. මධ්‍යම රාත්‍රි දොළහට ආසන්න වෙත්ම මාරසභාව අවසන් කරනු ලැබූවේ මාරදිව්‍ය පුත්‍රයාගේ නිදන වේලාව ආසන්න වූ හෙයිනි. අපාය බංකොලොත් වුවත් මාරයාගේ මාර පුරුද්ද අත්නොහරින්නක් බව යමපල්ලන් හොඳාකාරවම දැන සිටියේය.

https://www.silumina.lk/2024/10/12/news-features/27063/%E0%B6%85%E0%B6%B4%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8-%E0%B6%B6%E0%B6%82%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A/

Reply all
Reply to author
Forward
0 new messages