2013.05.12 ප.ව.6.30
"තව කාලක් ගහමු බං"
"අරි.... ඒනං කාලක් ගාමු මාත්තය"
"ඒ... මල්ලී.... අපිට තව කාලක් ගේන්න.... ඔම්ලට් එකක්වත් ගමු නේද බං.... මල්ලි ඔම්ලට් එකකුත් ගේන්න"
"හෙහ් හෙහ් හෙහ්.... කෝමද ආතල්එක ආ......"
"අපිට කෙලින්න හිතුව මදි මහත්තය...."
"අරූග පුක් මූන මැවිල පේනව බං.... ගත්තයිං ගත්තෙ නෑ එහෙම ආතල් එකක් බං......හුහ්! අපිට කෙලින්න.....*&%*&පුතා!"
"ඔන්න ගනිං.... මේකත් ඉවර කරල යං යන්න"
2013.05.07
"නුවන් මහත්තය?"
"ඇයි ආන?"
"හදිසි වැඩක්ද? යමුද පොඩ්ඩක් කැන්ටිම පැත්තට....."
"මොකද්ද කේස් එක?"
"අර දැං ආපු බුවා මොකද කිව්වෙ? මෑන් ඇවිල්ල මට ටෝකක් දුන්න.... මොකද්ද එයාගෙ කේස් එක?"
"අම්මට සිරි උඹේ ලඟටත් ආවද? බුවාට පාඩුවක් වෙන්නයි යන්නෙ.... හරියට ෆයිල් එක හැදුවොත් අටක් දහයක් ගෙවන්න වෙනව.... උඹට මොකද කිව්වෙ?"
"නුවන් මහත්තයට කෙලිම්ම ටෝක දෙන්න බැරි නිසයි මට කිව්වෙ.... මෑන් කැමතියි වගේ පහහක් හැටක් දීල ගාන ටිකක් අඩුකරගන්න..... ඕනනං එකක් විතර ගන්නත් පුළුවං.... නම්බරෙත් දුන්න මට"
"ම්....... මටත් හිතුන ඕක..... නමුත් මට නං බුවාව ඇල්ලුවෙ නෑ එච්චර....."
"ආයෙ මෙනවද නුවන් මහත්තය..... අපේ ගාන කවර් වෙනව නං මොකද්ද ඊට වැඩිය......"
"උඹ නං කියයි! මම එපැයි කරන්න.... හරි කෝල් එකක් දිල බලපං...."
2013.05.08
"මචං වැඩේ කරගන්න පුළුවන්... අඩුම ගානෙ පනහක්වත් දෙන්න වෙයි.... "
"ඕක හරියන්නෙ නෑ බං.... උඹ දන්නවනෙ ආරියට උන වැඩේ... අන්තිමට මොකද්ද උනේ..... ටැක්ස් මහත්තයට එකක් දීල අන්තිමට මුළු ගානමත් ගෙවන්න උනානෙ"
"එහෙමද! ඇමතිතුමා අල්ලගෙන වැඩේ ෂේප් කරගන්න බැරිවෙයිද බං?"
"අනේ උගෙන් වැඩක් නෑ.... මාත් ගියා ඔයවගේ කේස් එකකට.... කෝල් එකක් දෙන්නං කිව්ව විතරයි.... මොකුත් උනේ නෑනෙ බං.... අනෙක ඔය ඔපිස් එකේ #*^#*ල ඇමතිය කිව්වත් කරන්නෙ නෑ උන්ට ගාන දෙන්නෙ නැත්තං"
"මොකද්ද බං කරන්නෙ? මේ වෙලාවෙ සල්ලිත් නෑ බං එච්චර"
"ඔය බුවා අල්ලල දෙමුද බං අල්ලස් එකට! ටිකක් කාලයක් ඒක හරි ඇදිල යයිනෙ?"
"ම්.........."
2013.05.12 පෙ.ව.8.45
"හරි සර්.... සල්ලි ටික හරි! අංක ටික ලිව්ව.... අරයට දෙන්නද?"
"කෝ අර පැමිණිලි කරපු මනුස්සය.... ආ ඔය එන්නෙ....."
"එහෙනං ඔයා යන්න..... මෙන්න සල්ලි ටික මතකයිනෙ කියපු විදියට වැඩේ කරන්න...... සල්ලි ටික එයාගෙ අතටම දෙන්න..... පියන්ට දෙන්න එපා.... තනියම කාමරේට යන්න..... අපි ඒ එක්කම ඇවිල්ල මිනිහ අල්ලගන්නං......"
"හරි සර්! මම කිව්ව විදියටම කරන්නං".
"බලනව අයිසෙ මුංගෙ වැඩ! උගෙත් රස්සාව අදින් ඉවරයි.... මොනව කරන්නද!"
2013.05.12. පෙ.ව. 9.45
"සර්.... එහෙනං මගේ වැඩේ හරිනෙ! තුනකට විතර බස්සල හදන්න සර්..... මෙතන අසූවක් තියනව".........................
"අපි පොලිසියෙන්..... තමාව අත්අඩංගුවට ගන්නව මේ නිලධාරියාට බලපෑම් කරල අල්ලස් දීමට තැත්කිරීම සම්බන්ධව..... යමු අපිත් එක්ක"
"මම...මම.... මේ..... මෙන්න මේ සර්ල එක්ක ආවෙ....."
"රාලහාමි අපි අල්ලස් එකෙන්.... අපි ආවෙ අල්ලස් ගැනීම සම්බන්ධව මේ නිලධාරියාව අත්අඩංගුවට ගන්න..... මේ පුද්ගලයගෙ පැමිණිල්ලට අනුව"
"ඩිරෙක්ටර් අපිට පැමිණිලි කලා මේ මහත්තයට මෙයා බලපෑම් කරනව කියල, එයාගෙ ටැක්ස් එක අඩුවෙන් හදන්න කියල, අද උදෙත් කෝල් කරල තියනව....."
"හරි කට්ටියම යමු ඩිරෙක්ටර් ලඟට"
2013.05.12 ප.ව. 4.45
"මොකද්ද නුවන් මහත්තය මේ උනේ.....?"
"හෙහ්... හෙහ්... හෙහ්.... ඊට කලිං ෂොට් එක දාගනිංකො.... චියර්ස්!"
"මට මුල ඉඳලම මේ වැඩේ ඇල්ලුවෙ නෑ බං.... මම එදා හවස කරුණාරත්න මහත්තයට කෝල් එකක් දුන්න...."
"කවුද අර රිටය උන කරුණාරත්න සර්ද?"
"ඔව් ඔව්.... එයා කිව්ව ඔය මෑන් මීට කලිනුත් අපිට පෙස්සං වගයක් ගහල මොකද්ද සීන් එකක් උනාලු! අපේ ඩිරෙක්ට සර් එන්නත් කලිං සිද්ධියක් ඒක....."
"ඉතිං.....?
"ඉතිං මම වැඩේ අල්ලල දැම්ම..... පස්සෙ මට හිතුන මූ අපිට ගේමක් දෙන්නනං හිතං ඉන්නෙ ඌටත් පොඩි රිටන් එකක් දීල බලන්න කියල....."
"හා.....?"
"මම ඊයෙ රෑ බොසාට කෝල් එකක් දුන්න.... දීල කිව්ව අරූ ටැක්ස් එක අඩුකරන්න කියල තග දානව කියල....."
"අම්මට සිරි!"
"මම කිව්ව ඌ ඒක කිව්වෙ අදය කියල..... නැත්තං බොසා අහයි කලින් කිව්වෙ නැත්තෙ ඇයි කියල.... මම කිව්ව වැඩිය ගනං ගත්තෙ නැතත් සර්ට කියන්න ඕන කියලයි කිව්වෙ කියල"
"ඉතිං සර් මොකද කිව්වෙ?"
"සර් ඕඅයිසී සහත්තයට කියල තමයි අර පොලිසියෙන් එව්වෙ..... අල්ලස් එකට කියල වෙලාව නැති නිසා තමයි පොලිසියට කිව්වෙ..... ඒක තමයි මටත් ඕනවුනේ..... මොකද අල්ලස් එකට ගියානං දෙගොල්ල එතනදි සෙට් වෙන්න තිබුනනෙ... හහ් හහ් හහ්...."
"දැනුයි තේරෙන්නෙ වැඩේ.... නුවන් මහත්තය මට අරූට කෝල් ගන්න එපයි කිව්වෙ ඒකද?"
"ඔව් ඔව්.... මම කිව්වෙ ඌම කෝල් එකක් දෙනකං හිටපං කියල..... මෝඩය ගිල්ල ලනුව"
"දැං ඉස්සරහට මොකක් වෙයිද නුවන් මහත්තය......"
"මොනව වෙන්නද බං.... අරූ දවසක් දෙකක් ඇතුලෙ තියං ඉඳල එලියට දාමයි නෙව!
2014.05.12. ප.ව.7.10
"මල්ලි අපේ බිල ගේන්න....."
"නුවන් මාත්තය මෙන්න මේකත් දාන්න...."
"ඕන නෑ.... උඹ ඕක තියාගනිං.... මේ......න් මේ දෙදාහ කොහෙන්ද කියල උඹ දන්නවද?........"
"කවුද දුන්නෙ?"
"අරූ මේසෙ උඩට සල්ලි දැම්මනෙ.... ඒ එක්කම පොලිෂිය ඌව ඇල්ලුවනෙ..... ඒ එක්කම අල්ලස් බුවාලත් පැන්නනෙව....."
"ඉත්තිං?"
"ඔය අස්සෙ මම උඩම තිබුන දෙදාඑ කොලේ බිමට දැම්ම බං..... කවුරුවත් දැක්කෙ නෑ ඒක..... අරුංට සල්ලි ගනින්න උනෙත් නෑ ඩිරෙක්ට ලඟට ගියානෙ..... ෆෑන් එකට හුලඟ ගිහිල්ල බිමට වැටිල තිබුන අයිතිකාරයෙක් නැති දෙදාඑ කොලයක්!හහ් හහ් හහ්..."
"අම්මප නුවන් මහත්තය නං....."
වගීෂා කැඩපත ළඟ කැරකුණේ හිත් වේදනාවෙන්.අත් දිගට මහපු ගවුමේ කර හොඳින් පියවී තිබීම සහනයක් කියලා වගීෂාට හිතුණා.ෂෝල් එකත් කරට දාගත්තු ඇය තොල් ආලේපනයක් අතටත් අරගෙන ආයේ කණ්නාඩි මේසය උඩින් ආලේපනය තියලා දිග හුස්මක් ගත්තේ හිතේ හැම වේදනාවක්ම පිට කරන්න හිතාගෙන.
“අම්මී..නිලූ ආන්ටි එනවා..”
ලොකු දූ කාමරේට එබිලා කෑගහන්න ගත්තා.චූටි පුතා නම් නිලූ ළඟට දුවගෙන යනවා වගීෂා දැක්කේ කාමරයේ ජනේලයෙන්.
“මෙයාට හැඩ වෙන්න යන වෙලාවක්..”
නිලූ කාමරයට එබුණේ එහෙම කියාගෙන.ඊටත් පස්සේ දෑත් ඉනට අරන් වගීෂා දිහා බැලුවේ මුහුණට තරහක් ආලේප කරගන්න ගමන්.
“ඔය ඇඳන් ඉන්නෙ මොකක්ද? සිල් ගන්න යන්න වගේ රෙද්දකුත් පොරෝගෙන..”
වගීෂා ආයෙම හුස්මක් පහළට දාලා ඇඳ උඩ වාඩි වුණා.
“ඔයා සිලෙක්ට් කරපු ගවුම අඳින්න බෑ නිලූ.අත් නැති ඇඳුම් මට කැතයි.අනික මං වගේ වංගෙඩියක් ඒ වගේ ගවුමක් අඳින්න..”
නිලූ මිතුරිය දිහා බලාගෙන හිටියේ තරහින්.මේ සිතුවිලි ඇයට එන්න හේතුව දන්න නිසාම නිලූට තරහ ගන්න හිතෙන්නෙත් නැහැ.
“පොඩි මේකප් එකක් දාමු වගී..චිත්‍ර ප්‍රදර්ශනේ අයිතිකාරි චිත්‍රයක් වගේ ඉන්න එපැයි.ඊට කලින් කරුණාකරලා මං ඔයාට තෝරලා අරන් එවපු ගවුම අඳින්න.
නැත්නම් අපේ යාලුකමට තිත තියලා ඔයාගෙ චිත්‍ර ප්‍රදර්ශනෙත් යකාට ගියාවේ කියලා මං යනව යන්න හරිද?”
වගීෂා මිතුරියගේ සරදම බාර ගත්තේ සන්සුන් බැල්මකින්.ඊටත් පස්සේ ඈ කිව්ව කතාව ගැන නිලූට ඇති වුණේ කියා ගන්න බැරි දුකක්.
“අවුරුදු ගාණක් ආදරේ කරලා කසාද බැඳලා දරුවො හදපු මනුස්සයත් මාව දාලා ගියානම් යාලුවෙක්ට යන්න බැරි නෑනෙ නිලූ..”
නිලූ වගීෂාට ඇඳුම් මාරු කරන්න ඉඩ ඇරලා සාලෙට ආවේ හේමන්ත ගැන සිහියට එන මතක වලට වෛර කරමින්.වගීෂාගේ දරුවන්ගේ තාත්තා වුණු හේමන්ත ඉඩක් ලැබෙන ඕනෑම වෙලාවක වගීෂාට කියන කතා නිලූට මතක් වෙන්න ගත්තා.
“ඔයාලා ෂොපිං කරන්න ගියාට වගීෂාව නම් අර පෙරහැරේ යන අලින්ට ඇඳුම් මහන මනුස්සයෙක් ගාවට අරන් යන්න වෙයි..”
ඒ දවස්වල නිලූ සාප්පු සවාරියක යන්න වගීෂාට කතා කරන්න ආවම හේමන්ත එහෙම කියන්නේ අසංවර තාලෙට හිනා වෙමින්.වගීෂාගේ මුහුණේ ඒ වෙලාවට ඇඳෙන අසරණ බැල්ම නිලූට තවමත් මතකයි.
“අපේ නෝනා නම් බත් බෙදා ගන්නේ හැන්දෙන් නෙවෙයි සවලෙන්..”
මිතුරු පිරිසක් එක්ක රෑ කෑමකට පිටතට ගියාම හේමන්ත එහෙම කියන හැටි නිලූට තවම මතකයි.
“මොනතරම් ඩයටීෂියන්ලා පස්සෙ ගියත්, ජිම් ගියත් මගෙ ඇඟ බහින්නෙ නෑනෙ..”
වගීෂා කණගාටුවෙන් කියන්නේ ඒ කතා අහන් ඉන්න බැරිකමට.
“ඔයාගේ ඇඟේ හැඩය බාර ගන්න වගීෂා.ඔය අනවශ්‍ය මහතක් නෙවෙයි.ඔයාගේ සයිස් නිළියෝ කොච්චර ඉන්නවද?ලස්සනට ස්ටයිල්ස් කරලා ලස්සනට ඉන්න එයාලාට පුලුවන් වෙලා තියෙන්නෙ එයාලා ඇඟේ හැඩය බාර අරන් තියන හින්දා.ඔයා කෙට්ටු වෙන්න දඟලන්නෙ හේමන්ත ඔයාට කැතයි කියන හින්දානම් ඒක හරි මෝඩ වැඩක්.ඔයා කැත කෙනෙක් නෙවෙයි..”
නිලූ පුලුවන් තරම් දේවල් වගීෂාට පැහැදිලි කළා.ඒත් තමන්ගේ සැමියා මන්තරයක් වගේ තමන් “කැත බතලියක්” කියනකොට ඒක දරා ගන්න වගීෂාට අමාරු බව කාටත් නොතේරුණා නෙවෙයි.
“හේමන්ත ඩිවෝස් එක ඉල්ලනව නිලූ..”
වගීෂා ඒ ආරංචිය අරන් ඇවිත් අඬපු හැටි මතක් කරමින් නිලූ සාලය පුරා ඇවිද්දා.මේ සාලයේ බිම වැටිලා වගීෂා ඇඬුවේ හේමන්ත ඇයව දාලා යන්න තිබුණු එකම හේතුව “වගීෂා කැත වීම” හින්දා.ඒ වගේ විකාර හේතුවක් දික්කසාදයකට හේතුවක් නෙවෙයි කියලා මිතුරියන් කැට තියලා කියපු කාරණාව ඇත්තක් වෙන්න වැඩි කාලයක් ගියේ නෑ.දික්කසාදයට මාසයකට පස්සේ ප්‍රසිද්ධ යොවුන් නිරූපිකාවක් එක්ක රටම හෙල්ලිලා යන මංගල්ලයක් ගන්න හේමන්ත වග බලා ගත්තා.
එදායින් පස්සේ වගීෂා තවත් මුළුගැන්වුණු චරිතයක් බවට පත් වුණා. රැකියාවෙන් ලැබෙන මුදල දරු දෙන්නාට ප්‍රමාණවත් නෑ කියලා හිතෙන නිසා හිත නිවා ගන්න කරන විනෝදාංශය මුදල් බවට හරවන්න වගීෂා තීරණය කළා. ඒ චිත්‍ර ඇඳලා විකිණීම.
වගීෂාගේ චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීම නිලූ ප්‍රමුඛ මිතුරියන්ගේ වැඩක්. තමන් වටිනා කෙනෙක්,දක්ෂ කෙනෙක් කියලා තේරුම් ගත්තාම වගීෂා ආපහු හිනා වෙයි කියලා මිතුරියන්ට විශ්වාසයක් තිබුණා.
චිත්‍ර ප්‍රදර්ශනය බලන්න බොහෝ අය ආවා.ඒ අතර හිටිය මැදිවියේ වැදගත් පෙනුමැති කෙනෙක් වගීෂාගෙන් චිත්‍ර ගැන බොහෝ කාරණා අහන හැටි නිලූ බලාගෙන හිටියේ ඈත ඉඳන්.
“මගේ වයිෆ් චිත්‍ර වලට හරි ආසා කරපු කෙනෙක්.අපි ජීවත් වුණේ ඇමරිකාවල. බ්‍රේන් ටියුමර් එකකින් එයා නැති වුණාට පස්සේ මටයි දූටයි චිත්‍ර ප්‍රදර්ශනයක් බලන්න හිතුණාමයි..”
එහෙමෙහෙ දුවන පුංචි දූ පෙන්නමින් තිමිර එහෙම කියද්දී වගීෂාගේ චිත්‍ර ගැන ඔහුට කියන්න නිලූත් හවුල් වුණා.එදා තිමිර ආපහු ගියේ වගීෂාගේ චිත්‍ර කිහිපයක්ම මිලදී අරන්.ඔහු චිත්‍ර සම්බන්ධයෙන් කතා කරන්න කිහිපවතාවක්ම වගීෂාට දුරකථනයෙන් අමතන්න අමතක කළේ නැහැ
සොබාදහම සමහර අසාධාරණකම් වලට නිවැරදි යුක්තිය ඉටු කරන්නේ තරමක කාලය අරන්.හැබැයි බොහොම සුන්දර විදියට.හේමන්තට කැතට පෙනුණට තමන්ට තමන්ගෙ අනන්‍ය සුන්දර බවක් තියෙනවා කියලා වගීෂා ඉගෙන ගනිමින් ඉන්න බව නිලූට පෙනුණේ සන්තෝසය උතුරා හැලෙද්දී. වගීෂාගේ චිත්‍රවල පවා වසන්තය උතුරා යමින් තිබුණා.ඇය හඬමින් පසුතැවෙන්නේ නැතුව සතුටින් ජීවත් වීම ගැන ඇයට ආදරය කරන හිතවතුන්ට දැනුණේ සැනසීමක්.ඒත් තමන් කැත නැති බවත් සුන්දර බවත් වගීෂා තනියම ඉගෙන ගත්තේ නැති බව නිලූ දැනගෙන හිටියා.
වසන්ත කාලය ආවේ ශීත සමය පලවා හරිමින්.ඇමරිකාවේ ගම්බද පලාතක නිවසක් ඉදිරියේ ඡායාරූපයකට පෙනී ඉන්න පවුලක ඡායාරූපයක් ෆේස්බුක් මත දකිද්දී නිලූට දැනුණේ ඉහිලුම් නැති සන්තෝසයක්.වගීෂා ඇගේ දියණියත් පුතුත් තිමිර ඔහුගේ දියණියත් එක්ක වසන්ත සමයේ හිරු රැස් දිහා බලාගෙන හිනා වෙන්නේ ප්‍රීතියෙන් සහ ආදරයෙන්.හේමන්තට කැතට පෙනුණු වගීෂා සුන්දර ගැහැනියක් බව තිමිර වටහා ගෙන අවසන්.නිලූ ආයෙම ඒ ඡායාරූපයේ උද්ධෘතය දිහා බැලුවා.
“Family is more than blood.“
මැණිකක් කබොක් ගලක් යැයි අපහාස විඳි සමය අවසන් වෙලා.ඇය කිරුළක් මත රැඳී අවසන්.ඇගේ අලුත් පවුල මොනතරම් ලස්සනද කියලා නිලූ හිතුවා.
තමන්ට අපහාස ලැබෙන තැනකින් ඉවත් වෙලා වටිනාකම හඳුනන තැනක රැඳෙන්න සමත් හැම ගැහැනියක්ම මැණිකක්.ඒකේ සැකයක් නැහැ.
"මොකක්ද මේ කියන කතාව ..? මට ආරංචි වුණ ගමන් මම මේ ආවෙ”
මද්දු ගෙදරට කඩාපාත් වූයේ සද්දෙන් එහෙම කියාගෙනමය.
” කෝ දැන් මාලෙ..??” ඇය ඇසුවේ අම්මාගෙනි.
” ඒක මල්ලිගාව ඇත්තෙ..”
” ඒක පුදුම කතාවක්නෙ.. එයා මොකටද ඒක තියා ගත්තෙ..? ලොකු අක්කෙ.. ඔයාම කියන්න බලන්න මම මොකක්ද මේකට කරන්න ඕන කියල.. එක්කො මම පොලිසි යනව.”
” පොලිසි…??”
මද්දුගේ මුවින් පිටවූ වචනය මගේ ශරීරය වෙව්ලවන්නට විය.
” මද්දු…”
මගේ කෝපය මුසු වූ කෑගැසීමෙන් මෙල්ල වූ මද්දු හරි බරි ගැහී පුටුවේ ඉඳ ගත්තාය.
“දැන් කාට විරුද්ධව ද උඹ පොලිසි යන්නෙ..?”
” වෙන කාටද ඉතින්… අන්තිමට මාලෙ දාගෙන ගිය අයට මිසක”
“උඩ බලාගෙන කෙළ ගහගත්තම කොහෙටද වැටෙන්නෙ කියල තේරෙන්නෙ නැද්ද මද්දු.?"
මා කෑ ගැසුවේ කෝපයෙනි.
මා වැඩිමලිය ලෙසින් ඉපදුණු අපේ පවුලේ මා පසුපසින් මද්දු ද, අවසානයේ මල්ලී ද පවුලට එක් වූයේ අංගසම්පූර්ණ පවුලක් අපට හිමි කරවමිනි.
මගේ විවාහය සිදු වූයේ තාත්තාගේ යහළුවකු ගෙන ආ යෝජනාවකට අනුව ඔහුගේ පුතකු සමඟිනි. මට විවාහය වෙනුවෙන් කේවල් කරන්නට කොන්දේසි තිබුණේ නැත. මගේ බලාපොරොත්තුව වූයේ තාත්තාටත් අම්මාටත් සවියක් විය හැකි තවත් පුතෙක් අප පවුලට එක්වනවා දැකීම පමණය.
සිතිවිලි ඇතැම් විට තිබුණේ අපේ තරමට ඔරොත්තු නොදෙන තැනකය. ආදර සබඳතාවක් ඔස්සේ ඇගේ විවාහය තීරණය වූව ද සාම්ප්‍රදායික විවාහයකදී සිදුවන සියලුම අංගෝපාංග ඊට ඇතුළත් විය යුතු බව තීරණය කළේ ද මද්දුය.
එහෙත් අවසානයේ මද්දුගේ යෝජනාවලට එකඟවීම තුළින් අම්මාත් තාත්තාත් එළිදැක්වූයේ නිවෙසින් එළියට බස්සවන දියණියක වෙනුවෙන් යුතුකම් ඉටු කරන්නට ඇති කැමැත්ත මෙන්ම වැඩිමහල් දියණිය වෙනුවෙන් විඳින්නට නොහැකිව යටපත් කරගත් සුන්දර මංගල්‍යයක අත්දැකීම විඳගන්නට ඔවුන්ගේ සිත තුළ ඇති කැමැත්ත යැයි මම වටහා ගතිමි.
ඔවුහු පෙර නොවිඳි උත්සව අවස්ථාව විඳ ගැනීමට මඟ බලා සිටියහ. අම්මා සහ තාත්තාටත්, මල්ලීටත් ඇඳුම් පැලඳුම් ගන්නටත් අනෙක් සියලු කටයුතු සඳහාත් මද්දු මුල්තැනගෙන කටයුතු කළ බව ඇසූ මම සැනසුම් සුසුම් හෙළීමි. ඇය රැකියාවට ගිය තැන් පටන් සැලසුම්සහගතව මුදලක් ඉතිරි කරගන්නට ඇත.
මද්දු ගෙදරින් පිටව ගොස් මාස කිහිපයක් ගතව යද්දී මා මවක වූ අතර මිත්තණියක වූ මගේ අම්මා හා තාත්තා සිය මිනිබිරිය බලන්නට එන සෑම වාරයකම පවුලේ තොරතුරු මා වෙත අලුත් ආරංචි ලෙසින් ගෙන ආවේ අම්මාය.
“මද්දුගෙ මහත්තය රට යන්න හදනවය කියන්නෙ..” වරෙක ඇය කීවේ සතුටිනි.
”මද්දු මට කරමාලයක් ගෙනත් දුන්නනෙ… ලොකු ගාණක එකක් මයෙ හිතේ…. මම නම් එපාම කිව්ව. ඔය හැටි වටින ඒව දාගෙන මම කොහෙ යන්නද? එයාගෙ නෑයන්ගෙ හැටියට එයාට ලැජ්ජ වෙන්න බෑ කියන්නෙ මට වටින එකක් නැතුවම.. අනේ මන්ද ලොකු දුවේ… මට ඕව පරිස්සම් කරන්න තැන් ඇත්තෙත් නෑ..” ඊළඟ වාරයේ පැමිණි අම්මා කීවේ සතුට හා බිය සැක සම්මිශ්‍රණය වූ සිතිවිල්ලෙනි.
”පොඩි එකා ගෑනු දැරිවියක් හොයාගෙන වගේ..” වරෙක අම්මා මා සමඟ කීවේ රහසක් කියන්නාක් මෙනි.
”කවුද.. මේ අපේ මල්ලි..?? ”
මා ඇසුවේ විස්මයෙනි.
මල්ලිට ඡායාරූප ශිල්පය හැදෑරීමට කැමැත්ත ද උනන්දුව ද තිබූ බැවින් පද්මසිරි ඔහුව ඡායාරූපකරණය පිළිබඳ පාඨමාලාවක් හැදෑරීමට යොමු කළ අතර ඔහු එය සාර්ථකව නිම කර දිවයිනේ නමගිය ඡායාරූප ශාලාවක සේවය සඳහා බැඳුණේ දැනට ටික කලකට පෙරය.
”මල්ලි අම්ම එක්ක කිව්වද..?”
”මොන.. මා එක්ක කිව්ව ඇති දෙයක් නෑ.. මද්දු දැකල තියෙනව දවසක් ටවුමෙදි ජෝඩුව බයිසිකලේ යනව..”
”මල්ලිට හොඳ නම් එච්චරයිනෙ අම්මෙ..
”මද්දු මට කිව්වෙ හොඳට හොයල බලන්නෙ නැතිව කොහෙවත් යන උඩැක්කියකට කරගහන්න ඉඩ තියන්න එපාය කියල. එයාටට ලැජ්ජයි කියන්නේ නොගැළපෙන ළමයෙක් නම්”
අම්මා ටික වේලාවක් නිහඬව ඉඳීමෙන් පසුව කියුවේ හිස මත බරක් පටවා ඇති කලෙක මෙන් ගැඹුරු සුසුමක් හෙළමිනි.
වත්සලා අප පවුලට එක් වූයේ එලෙසිනි. මල්ලීගේ විවාහ මංගල්‍යය ඉහළින් පවත්වන්නට මද්දු යෝජනා කළ නමුත් මල්ලීත් වත්සලාත් දෙදෙනාම ඊට එකහෙළා අකමැත්ත පළ කළ බැවින් ඇය නිහඬ වූවාය. දෙපසේ සමීපතම ඥාතීන් පමණක් සහභාගි වූ මල්ලීගේ විවාහ මංගල්‍යය ඉතා චාම්ව නිවෙසේදී පැවැත්විණ.
”අද මල්ලිලා මඟුල් ගෙදරක ගියා..” අම්මා මා බලන්නට පැමිණි තවත් දිනෙක එසේ කීවාය.
”ෆොටෝ ගන්නද..? ”
”නෑ..නෑ…වත්සලාගෙ ඉස්කෝලෙ යාළුවෙක්ගෙ මඟුල් ගෙයක් කියල කිව්වෙ..මගෙ මාලෙ ඉල්ලුව දාගෙන යන්න..මම දුන්න..” වත්සලා තම මාලය පැලඳගෙන යාම පිළිබඳව අම්මාගේ හැඟීම් කවර ආකාරයකදැයි බැලීමට මා ඇගේ මුහුණ බැලුවද, අම්මාගේ මුහුණින් කිසිදු හැඟීමක් පළ වූයේ නැත.
” මල්ලිට අලුතෙන් කැමරාවක් ගන්න වෙලා ලොකු දුවේ.. අම්මා ඊළඟ සැරේ ගෙන ආ ආරංචිය එයයි.
” කීයක් විතර වෙනවලු ද අම්මෙ කැමරාවක්..”
” ලක්ෂ කීපයක් වෙනවය කිව්වෙ..”
” අපි මද්දුගෙන් අහල බලමුද අම්මෙ..විපුල් මල්ලිත් දැන් ඇවිත් නිසා මද්දු උදව් කරාවි. මටත් පනස්දාහක් විතර නම් දෙන්න පුළුවන්..”
” වැඩක් වෙන එකක් නෑ ලොකු දුවේ..තාත්ත කැමති නෑ මද්දුට කියන්න.”
තාත්තාට කුඩා උරුමයක් ඇති කුඹුරක් තිබූ බව මට සිහි වූයේ අහම්බෙනි. එය කිහිප වතාවක මුදලක් දී නිරවුල් කරගැනීමට දැනට බුක්තිවිඳිනා පාර්ශ්වයෙන් ඉල්ලීම් කළ ද තාත්තා ඊට උනන්දුවක් නොදැක් වූ අතර, මල්ලීට මේ මොහොතේ එය පිහිටක් වනු ඇතැයි මගේ සිත කියන්නට විය.
” අම්මෙ.. අපි අර කුඹුරු කෑල්ල සිරිතුංග මාමලට ලියල දෙමු. එයාල කීප සැරේ ඕක ගැන කතා කළානෙ. ඒ ලැබෙන මුදල මල්ලිට දෙන්න බැරියෑ”
” ඒක ලියල දීල සල්ලි අරන් තමයි පුතේ මද්දුගෙ මඟුලට වියදම් කළේ..” අම්මා කීවේ පරාජිත හඬිනි.
“මොන පිස්සු වැඩක්ද ඒ..? මම හිතුවෙ මද්දු රස්සාවට ගිහින් ඉතුරු කරගත්ත ඒවයෙන් වියදම් කළා කියල..”
මා කෑගැසුවේ කෝපයෙන් මෙන්ම වේදනාවෙනි.
” දැන් ඉතින් ගිය දේ ගියාවෙ අම්මෙ..මම කල්පනා කරන්නෙ පොඩි එකාගෙ වැඩේ කරල දෙන්නෙ කොහොමද කියල..”
ගතව ගියේ දින දෙකක පමණ කාලයක් වන්නට ඇත. අම්මා මා හමු වන්නට පැමිණියේ හැඬූ කඳුළින් යුතුවය.
” අම්මෙ..අඬන්නෙ නැතුව කියන්නකො මොකද වුණේ කියල… කාට හරි කරදරයක්ද…?” මා පැවසුවේ නොඉවසිල්ලෙනි.
” මම මල්ලිට කිව්ව එයාගෙ වැඩේ කරගන්න මගෙ මාලෙ උකස් තියල සල්ලි ගන්න කියල..ඒකට ලොකු ගාණක් ගන්න පුළුවන් වෙයි කියල තාත්තත් කිව්ව..”
” ඉතින් මොකද වුණේ..මද්දු දැනගෙන එපා කිව්වද..??”
” නෑ..නෑ..එහෙම දෙයක් නෙවෙයි..පහුගිය දවසක මල්ලියි වත්සලායි මඟුල් ගෙදරක ගිය ගමන් එයාලගෙ ගෙදරත් දවස් දෙකක් ඉඳල ආවෙ. එහෙදි වත්සලාගෙ අම්මගෙ අල්මාරියෙ තමයි මාලෙ දාල තිබිල තියෙන්නෙ. ආපහු එද්දි මල්ලිලට ඒක ගේන්න අමතක වෙලා.. ”
” ඉතින්..එහෙදි හොරු අරන් ද ඒක..”
” නෑ ..දුවේ..නෑ…මම මාලෙ උකස් තියල සල්ලි ගන්න කිව්වට මල්ලි ඒකට කැමති වුණේ නෑ.. ඒත් මගේ බලකිරිල්ලට අද උදේ වත්සලාලගෙ ගෙදර ගිහින් මාලෙ අරන් ඇවිත් බැංකුවට ගියේ.. මාලෙ ඉමිටේෂන් එකක්ය කිව්වලු බැංකුවෙන්..”
” එහෙම වුණේ කොහොමද අම්මේ…මාලෙ ඒකමද..අම්ම මාලෙ දැක්කද..? ”
” මට ඒ හැටි මතකයක් නෑ ලොකු දුවේ..මම බැලුවෙත් නෑ… මට පත්තු වුණ ගින්දරට…. මල්ලි වත්සලාටත් හොඳටම බණිනව ඇහුණා….“
අම්මා හඬා දොඩා පිටව ගියේද පිළිතුරු නොමැති ගැටලුවක බර හිස තබාගෙනය.
මද්දු ආරංචිය ලැබීමෙන් පසු ගෙදරට ආවේ මා පසුවදා ගෙදර ගොස් සිටියදීය. ” නංගී..” ඇඳෙහි මුනින්තලාවී හඬන වත්සලාගේ උරහිසට අත තබා මා කතා කරද්දී වත්සලා වහා නැගිට මා වැලඳ ගත්තේ මහ හඬින් හඬමිනි.
“ඒක එදා ගෙදර දාලා ඇවිත් තිබුණා අක්කේ අමතක වෙලා. ඒක අපේ අම්මගෙ අල්මාරියෙ තිබුණේ අක්කේ… මං ඒකට මුකුත් කළේ නෑ අක්කේ.”
” කෝ දැන් මල්ලි….”
” දන්නෙ නෑ අක්කේ..කවදාවත් නැතිව මට හොඳටම බැණලා උදේ ගෙදරින් ගියේ..”
මල්ලී පසුවදා මා සොයා ආවේ බොහෝ සේ විඩාබර මුහුණින් යුතුවය.
“මම තීරණයක් ගත්ත අක්කේ…මම අම්මට මාලෙ හදවල දෙනව.. මම ඒ ජුවලරි ෂොප් එකට ගියා. වත්සලා මාලෙ දාගෙන ඉන්න වෙලාවක ගත්ත ෆොටෝ එකක් පෙන්නල මම ඇහුව එයාලගෙන්.. තාත්ත නම් කිව්වෙ මද්දු ඒක අම්මට දුන්නට පස්සෙ ආයෙ එයාට ඒක ගැන අහන්න අයිතියක් නෑ කියල.. ඒ වුණාට මම එහෙම හිතන්නෙ නෑ අක්කෙ.. මට මේ වැඩේ කරල දුන්නම මගෙ හිත නිදහස් ..”
” කීයක් විතර යයිද මල්ලියේ..”
” ටිකක් ලොකු ගාණක් අක්කේ..අක්ක ඒ ගැන හිතන්න යන්න එපා..මම කොහොම හරි ප්‍රශ්නෙ ගොඩ දාගන්නම්..” මල්ලී පිටව ගියේ එසේ කියමිනි.
සති දෙකකට පසු මල්ලී මාලය රැගෙන ආවේ විඩාබර නමුත් සැනසිලිදායක මුහුණින් යුතුවය. මා එය අතගා බැලුවේ ද පරිස්සමෙනි.
“ලොකු අක්කෙ..අපි දෙන්න යමුද මද්දු අක්කලගෙ ගෙදර….”
මල්ලී ඇසුවේ පද්මසිරිගේ යතුරුපැදිය දෙස බලමිනි.
” හැබෑටම කෝ මල්ලියෙ බයිසිකලේ.. මට අහන්නත් බැරි වුණා ” ” මම බයික් එක වික්කා අක්කෙ..” මල්ලී කීවේ බිඳුණු හඬිනි.
” දෙයියනේ…. මාලෙ හැදෙව්වෙ ඒ සල්ලිවලින්ද මල්ලියේ..”
“පස්සෙ බයික් එකක් ගන්න බැරියැ… ඊට වඩා මේකෙන් නිදහස් වෙන එක මගෙ හිතට සැනසිල්ලයි..”
මල්ලීත් මාත් මද්දුගේ නිවෙසට යන විට මද්දු සිය නැන්දම්මා සමඟ බැහැරක ගොස් සිටි අතර නිවෙසේ සිටියේ විපුල් මල්ලී පමණය.
මම කෙටියෙන් සිදුවූ සියල්ල විපුල් මල්ලී සමඟ පැවසූවාය..
” කෝ බලන්න ඔය මාලෙ…” විපුල් මල්ලීගේ අතට මා, මාලය සහිත වූ පෙට්ටිය දුන්නේ දෑතින්මය. ඔහු මාලය ඒ පැත්ත මේ පැත්ත හරවා බලා එය නැවත පෙට්ටිය තුළට දමා මා අතට දී ගෙතුළට ගියේය. ගෙතුළට ගිය ඔහු මඳකට පසු අප අසලට ආවේ රෙදි කඩක එතූ යමක් ද රැගෙනය.
” ලොකු අක්කෙ…මට තේරෙන්නෙ නෑ මේක කොහොමද ඔයාලට කියන්නෙ කියල..ඇත්තටම මට ලැජ්ජයි වෙලා තියෙන දේට. මේ තියෙන්නෙ මම නිමාලිට පෝරුවෙදි බැන්ද මාලෙ..” ඔහු තමා අත තිබූ රෙදි කඩ දිග හැර එතුළින් එළියට ගත්තේ මද්දුගේ කරමාලයයි..
” මේක ගොඩක් වටින නිසා මම රට යන වෙලාවෙ බය හිතුණා නිමාලිට මේක පරිස්සම් කරගන්න කරදර වෙයි කියල. මල්ලි… කෝ අර ඉමිටේෂන් මාලෙ..” විපුල් මල්ලී හදිසියේ මතක් වූ කලෙක මෙන් විමසූ අතර මල්ලී මෙතෙක් වේලා ඔහුගේ බෑගයේ තිබූ මාලය සහිත පෙට්ටිය විපුල් මල්ලීට දුන්නේය.
” හොරෙක් හතුරෙක් ගෙට පැන්නොත් කියලා නිමාලිට මම මේ මාලේ විදිහට පිත්තලවලින් හදවලා රත්තරන් ගාවලා නිමාලිගෙ කරමාලෙ ගෙනාව පෙට්ටියෙ දාල තියලා, ඇත්ත මාලෙ හංගල තිබ්බා… මම කවදාවත් හිතුවේ නෑ නිමාලි මේ වගේ වැඩක් කරයි කියල..” විපුල් මල්ලී කීවේ මුහුණ බිමට නැඹුරු කරගෙනය. මා සිටියේ ඉහළට ගත් හුස්ම පහළට හෙළන්නට තරම්වත් සිහි කල්පනාවක් නැතිවය. විපුල් මල්ලී අප ඉදිරියේ ලැජ්ජාවට පත්ව ඇත්තේ ඔහුගේ බිරියගේ නොමනා ක්‍රියාව නිසාය. මල්ලීත් මමත් ලැජ්ජාවට පත්ව ඇත්තේ අපේම සොහොයුරිය අම්මා මෙන්ම අප සියල්ලන්ව ද රැවටීම නිසාය.
” මට සමාවෙන්න අක්කේ.. මට හරි ලැජ්ජයි. ඇයි නිමාලි මෙහෙම දෙයක් කළේ…මට සමාවෙන්න මල්ලී..” විපුල් මල්ලී අපට දෑත් එක්කර වැන්දේය..
” එපා විපුල් අයියා ..ඔයා දුක් වෙන්නවත් පසුතැවෙන්නවත් එපා. පහුගිය දවස්වල අපේ ජීවිත අවුල් ජාලයක් වුණා තමයි. ඒ වුණාට කමක් නෑ මුලු ජීවිතේම අපි වෙනුවෙන් කැපකළ අපෙ අම්මට දැන් වටින මාලයක් ලැබුණනෙ. ඒක මට සතුටක්.
අපි ගිහින් එන්නම් විපුල් අයියා..මද්දු අක්කට කියන්න මම එයා එක්ක තරහ නෑ කියල.“
” කොහොමද මද්දු උඹ මෙහෙම දෙයක් කළේ..උඹ බොරුවක් කරනව කියල දැන දැනම කොහොමද කිව්වෙ මේ අසරණයට විරුද්ධව පොලිසි යනව කියල.. කොහොමද ඒ තරම් ලොකු රඟපෑමක් කරල මේ අසරණයන්ගෙ හිත්වලට ගින්දර දුන්නෙ..” මට මද්දුගෙන් කෑ ගසා අසන්නට ඇති දෑ නොකඩවා හිතට ගලා එයි.
මේරියන් ගුණවර්ධනගේ පරිවර්තනයක්
ළදැරියගේ වයස සති තුනක් ඉක්ම යනතුරුත් ඇයට නමක් තබා නොතිබිණි. එනිසා ඇය චූටි බබා, බට්ටි, උක්කුං යනුවෙන් විටින් විට අමතනු ලැබිණි, දැරියට නමක් තැබීම ගැන බැරෑරුම් විධියට හිතූ මව එහි බර දැරියගේ හිස මත පටවා ඇය උකුළේ හොවා ගත්තේ හිත සැහැල්ලු කරගෙනය.
නෑයෝ ආහ. වයින් පිරවූ වීදුරු ගැටෙන්නට විය. කුඩා දැරිය වීනස් බඳු යැයිද, අෑ වෙතින් සඳක සොමි ගුණය වෑහෙතියිද කියැවිණි. නෑදෑ හිතවතුන් සමඟ එකතු වී කනවා, බොනවා හැරෙන්නට වෙන කුමක් කළ හැකිද?
නිතර නිතර අලංකාර වචන ඇසීමෙන්ද කවි ගැයීමෙන්ද පියාගේ සිත සැහැල්ලු විය. ඔහු පාවී යන්නට වූයේය. තුරුවදුලු අතරේ තණ නිල්ලේ සැරිසරද්දී ඔහුගේ සිතෙහි කවි සිතුවිලි පහළ විය. නිවෙස තුළ වීදුරු ගැටුණේ සංගීත සංකලනයක් සේය. පියා විනෝදයෙන් බීවේය. සින්දු කීවේය.
මේ ආකාරයෙන් සති තුනක්ම ගෙවී ගියේය. එහෙත් දැරියට නමක් නොවීය.
සති අන්තයේ මවුපියන්ගේ පාසල් මිතුරෝ වගයක් ආහ. ඔවුහු මහ හඩින් සිනාසෙමින් සුබ පතා පිටව ගියහ. ඉන්පසු ගෙතුළ නිසල බව රජ විය. ඒ වාතාවරණය සැනසිලිදායක විය. දැරියට නමක් තැබීමේ වුවමනාව බලවත්ව නැඟී සිටියේය.
“එයාට මගෙ නම තිබ්බොත් මොකද?” දැරිය වඩාගත් මව නීනා කීවාය.
‘ඒක හොඳ අදහසක්. මං ඔයාගෙ නමට කැමතියි!’ සැමියා කීවේය.
එහෙත් ඔහු බෞතීස්ම කිරීම ගැන කිසිවක් දැන සිටියේ නැත.
“එතකොට අපේ අම්මගෙ නම! එලීනා!”
නීනා කීවාය.
ඒ නමටද පියා කැමැති විය.
“අපේ අම්මගෙ නම ක්‍රිස්ටිනා” ඔහුට කියැවුණේ අහම්බෙනි.
තරුණ මව දුඹුරු පැහැ කෙස් ඇති තම දැරිය දෙස බැලුවාය.
“මං හිතන්නෙ ක්‍රිස්ටිනා කියන නම තඹ පාට කෙස් තියෙන කෙල්ලකට හරි අගෙයි.”
“ඔයාට මතකද අර ඔයාගෙ යාළුවෙක් හිටියෙ!” ඔහුට කියැවිණි. ඇයට වහා ඔහු දෙස බැලිණි.
“අයියෝ ඒකි ගැන නං මතක් කරන්ඩවත් එපා! අනේ ඇත්තට ඔයා ඒකිගෙ ඇඟේ එල්ලෙන්ඩ කොච්චර දැඟලුවද? මට නේද? ඒකිව මතක් කරනකොටත් මට පැළිල මැරෙන්ඩ හිතයි!”
“ඔයා තමයි මං ආදරේ කරපු එකම කෙල්ල!” ඔහු හිස සලමින් කීවේය.
“දැනුත්?”
“ඔව්. දැනුත්! ඒකෙ වෙනසක් නෑ!”
“හොඳයි එහෙනං ඒ ගැන ඒ ඇති! මං නං හිතන්නෙ ජූලියට්, ජෝජට් වගේ ලස්සන නං තවත් නෑ කියල!” ඇය කීවාය.
තරුණ මවත්, පියාත් ගෙයි අගුවේ නැවැතුණහ. අබේකාසියන් කඳු අතරේ පිහිටි ගෙය වටා අලුත් තණකොළ වැවී තිබිණි. මේ නිවෙස පාරම්පරිකව අයිති වූයේ ගේරගරි චමාගුවාගේ පවුලටය.
ගේරගරි හෝඩිය ඉගෙන ගත්තේත් පාසලේ උගන්වන්නට ගියේත් මේ නිවෙසේ සිටය. ඔහුගේ බිරියක් ඒ පාසලේම ඉගැන්නුවාය. පාසල තිබුණේද පේනතෙක් මානයේය. ළා හිරු රැස් වැදී උණුසුම් වූ වාතයෙන් පෙණහලු පුරවා ගැනීමට ඔහු ආශා කළේය
ඔහු ඉගැන්නුවේ සාහිත්‍යයයි. ඇය වාග් විද්‍යාව ඉගැන්නුවාය. එහෙත් මේ පුංචි කෙලි පැංචිය කවුරුන් වගේ වේදැයි දෙදෙනාම නොදත්හ. ඒ තබා අඩුම ගණනේ ඇයට තවම නමක්වත් තබා නොතිබිණි. තරුණ මවගේ හිත ව්‍යාකූල විය. හැකි ඉක්මනින් දැරියට නමක් තැබිය යුතු විය. එහෙත් ඇය නීනා, එලීනා ක්‍රිස්ටිනා යන නම්වලට උනන්දුවක් දැක්වූයේ නැත.
“අපි යං සීයලගෙ දිහා! එයා හොඳ තලත්තෑනි මනුස්සය! අපේ පරම්පරාවෙ ඉන්න වැඩිමහල්ම කෙනානෙ. අපි මේ කඳුකරේ සම්ප්‍රදායන්ට ගරු කරනව කියල ඒ අය දැනගන්න එක අපටත් ගෞරවයක්!” ඔහු කීවේය.
“අපි වැඩිහිටියන්ට ගරු කරනව කියන එක ඇත්තක්. සීයට මං ආදරෙයි. එයා පරණ ගැමි කතාවල ඉන්න වීරයෙක් වගෙයි!” ඇය කීවාය.
“ඔව්. පොඩි එකීට හොඳ නමක් තියන්න එයාට පුළුවන් වෙයි. පුංචි කාලෙ මං අහල තියෙනව පවුලෙ වැඩිමලා නම තිබ්බම සුබයි කියල!” ඔහු කෑගසා කීවේය.
“සුබයි නේන්නං!” ඇය සිනාසුණාය.
“ගෝත්‍රික සමාජ එච්චර නරක නෑ!” හැමෝම සමානයි. හැම දෙයක්ම සම්ප්‍රදායානුකූලව සිද්ධ වෙනව. තරුණ අය වැඩිමහල්ලන්ට ගරු කරනව. නරක නෑනේ!” ඔහු සිනාසුණේය.
“ඒ වුණාට ගෝත්‍රික සමාජ ක්‍රමය යටතෙ කෙරුණෙ නං ඉතාමත් අඩු නිෂ්පාදනයක්!” නීනා කීවේ එකඟ නොවූ විලාසයෙනි.
“ෂා! හරි මොළකාරිනේ ! “හඬ ගා එසේ කී ඔහු කුඩා දැරියගේ රෝසපාට පයක් සිපගත්තේ සන්තෝසයෙනි.
“නැන්දා තව ටිකකින් මෙහ එයිනෙ. එතකොට අපිට ගාව් සීයල දිහෑ යන්ඩ පුළුවනි! ඇය කීවාය.
“මේ අද ම?” ඔහු නොකැමැත්ත පළකළේය.
ග්‍රීෂ්ම දවසක කඳු නඟින්නකු මෙන් ඔහු තුරු සෙවණේ වැතිරෙන්නට ආශා කළේය. මොනවා නැතත් තණ නිල්ලේ වැතිරෙන්නට ඇත්නම් ඔහුට සෑහෙයි. එසේ වුවත් දැරියට තවමත් නමක් තබා නැති බැවින් ගාව් සීයාගේ ගෙදර යෑමට ඔහු එකඟ විය.
ගාව් බඩඉරිඟු කොටුවේ වැඩ කරමින් සිටියේය. ඉරිඟු කේක් කෑමට ඕනෑ නම් තමාම වගා කරගත යුතුය. තරුණ යුවළ මහ කන්ද නැඟගෙන එන හැටි ඔහු අෑත තියාම දුටුවේය. යුවළ වත්තට ඇතුළු වෙද්දී සීයා ඔවුන් පිළිගන්නට නිවෙසෙහි සිට පිටතට ආවේය. උඩට කරකැවූ උඩු රැවුලක් තිබූ ඔහු ගේට්ටුව ළඟට විත් තරුණ යුවළ පිළිගත්තේ සිනා මුවිනි.
“සීයට දැන් වයස කීයද?”
“අනූවක් විතර!”
“ඒත් අවුරුදු හැත්තෑවකවත් පෙනුම නෑ!”
සාමාන්‍යයෙන් අබේකාසියාන් මිනිසුන් තුළ මරණය දක්වාම පවත්නා නැවුම් බවක් විය. සමහර විට ඔවුන් තිරිහන් වූවා සේ පෙනෙයි. එහි රහස පිරිසුදු නැවුම් වාතය විය හැකිය.
තම මුනුපුරා පමණක් පැමිණියේ නම් සීයා මෙතරම් ඉහළින් කටයුතු කරන්නේ නැත. මුනුපුරා සිය බිරියද කැටුව පැමිණියේය. ඇය සන් පවුලේම කෙනකු වුවත් ඇයට විශේෂ අවධානයක් යොමු කිරීම සුදුසුය.
ආච්චිද මුනුපුරා – මිනිපිරි ජෝඩුව ආදරයෙන් පිළිගත්තාය. ඔවුන්ගේ පිපාසය සංසිඳුවීමට ඇය ඔවුනට සීතල, පිරිසුදු දිය වීදුරු දෙකක් පිළිගැන්වූවාය.
ඔවුහු තුරු සෙවණෙහි වාඩි ගත්තෝය. ආච්චි මිටි මේස වයින්, වොල්නට් හා දුම් ගැස්සූ චීස්වලින් සැරැසීමට යුහුසුලු වූවාය. මුනුපුරා කතාබහ පටන් ගත්තේය.
“සීයෙ, අපි ආවෙ උදව්වක් ඉල්ලගෙන!”
“ඔව්… ඔව්… මොකක්ද? පුළුවන් දෙයක් නොකර ඉන්නවයැ?”
මුනුපුරා ගෝත්‍රයේ පැරැණි චාරිත්‍රානුකූලව කතාව ලස්සන කළේය.
“මේක අපිට වැදගත් වුණත් සීයට වැදගත් නොවෙන්න පුළුවන්. මේ වගේ දේකට ඔයාට කරදර කරන එක හරිද දන්නෙත් නෑ. ඒ වුණාට ඔයා ළඟට ඇවිල්ල අවවාද ගන්න එක අපේ යුතුකමක්. ඒ වගේම ඒක අපට ගෞරවයක්!”
සීයා සතුටටත් පුදුමයටත් පත්විය. එහෙත් ඒ වගක් නොපෙන්වීමට ඔහු වගබලා ගත්තේය. මුනුපුරාගේ කතාවට ගැළපෙන අලුත් කතාවක් ගළපා ගැනීමට ඔහු උත්සාහ ගත්තේය.
“මම බොහොම සැලකිල්ලෙන් මේ ප්‍රශ්නය ගැන සලකා බලන්නං. ඔය දෙන්නට පුළුවන් හොඳම අවවාදය දෙන්ඩත් උත්සාහ කරන්නං. ඒ වැඩේට මගෙ මොළේ මදිනං අපි හැමෝම කතා කරල තීරණයකට එළැඹෙමු. අවවාද ගන්ඩ ඕනැ දුර්වල වෙච්ච මහල්ලෙකුගෙන් නෙමේ කියන එක ඇත්ත. ඒත් අපේ පවුලෙ ඒකට හරියන කෙනෙක් නැත්තං මොනව කරන්නද?” සීයා කීවේය.
“ඇයි සීය තමන්ව ඔච්චර හෑල්ලුවට අරගෙන කතා කරන්නෙ? මුනුපුරා කේන්ති ගිය වගක් ඇඟෙව්වේය.
“මේ ගමේ වැඩිම ගරු සැලකිලි ලැබෙන කෙනෙත් සීය නේද?” ගමේ ඉඳල අක්වා ටවුමට යනකල්ම සීය ගැන නොදන්නෙ කවුද?”
“නෑ… නෑ…" සීයා කෑගැහුවේය.
“මේ කඳුරටේ සීයට වඩා ගරු සැලකිලි ලබන්ඩ සුදුසු කෙනෙක් ඇත්තෙත් නෑ! ඉඳලත් නෑ!”
වීදුරු හිස් විය. සීයාත් මුනුපුරාත් එකඟත්වයකට එළැඹියහ.
දෙදෙනාට ඇහුම්කන් දෙමින් සිටි ආච්චිගේ හිතට ඒ කතා කාවැදුණේය. නීනාටද උදාර ලෙස කරනු ලැබූ අබ්කාසියන් කතාවලට ඇහුම්කන් දීමට අවස්ථාවක් ලැබිණි. වාග් විද්‍යාඥවරියක වූ ඇයට මෙය සිත්ගන්නාසුලු විය. තරුණ යුවළ කඳුකරයට ගෙන ආ වැදගත් කටයුත්ත එළිදැක්වීමේ අවස්ථාව පැමිණියේය. තරුණ ගුරුවරිය ක්‍රමවත්ව කතාව ඇරැඹුවාය.
“ගාව් සීයෙ, අපේ මේ පොඩි කෙල්ලට නමක් දෙන්ඩ කියල ඉල්ලන එක ඔයාට කරන මදිපුංචිකමක් නෙමේ නේද? ඒත් ඉක්මනින් නමක් හොයාගන්ඩ ඕනැ හින්ද අපි ඔයාගෙ උපදෙස් බලාපොරොත්තු වෙනව. ඔයාට කරදර කරන්න වේච්ච එක ගැන සමාවෙන්ඩ!”
“මොන වගේ උපදෙස්ද?” සීයා ඇසුවේ නොතේරුණු ලීලාවෙනි.
“අපිට ගෑනු ළමයකුට සුදුසු ලස්සන නමක් ඕනැ. මේ ඔයාගෙ මී මිනිපිරිට. ඒක අදට ගැළපෙන ලස්සන නමක් වෙන්ඩ ඕනැ.”
“ආ!” සීයා හිස සෙලෙව්වේය.
“ලස්සන නමක්!”
“ආ! ආ!” දෝංකාර දෙන නමක්!”
“දෝංකාර දෙන?” නීතා කාල්පනිකව ප්‍රශ්න කළාය.” නෑ ලස්සන නමක්!” අපේ පැටික්කිට ලස්සන නමක්. ලස්සන නමක් දාපු එයා කඳු වටේ දුවනව දකින්ඩ අපි ආසයි. ඔයා ඒකට හරි සමතනේ. සීය ඒ කාලෙ කරපු ඉලන්දාරිකං ගැන ඔය කවුරුත් කතා කරන්නෙ” ගේරගරි මුනුපුරා කීවේය.
සීයා චණ්ඩි පෙනුමක් ආරෝපණය කර ගැනීමට වගබලා ගත්තේය. ඒත් එය නොරිස්සූ ආච්චිගේ මුහුණ අවුල් විය.
“ආ හරි! හරි! මෙයා කන්‍යාවකගෙ වල්ලභයෙක් තමයි. හරිම කෙළිකාරයෙක්!”
“සද්ද කරන්ඩ එපා!” සීයා කීවේ තරහකින් නොවේ.
පිරිස වයින් බී යමක් කෑවෝය. යළිත් බීවෝය.
“නම් නං’ තියෙනව. ඒව එකකට එකක් වෙනස්!” හරිම අපූරුයි!” සීයාට කියැවිණි.
“අපිට තේරුං ගන්ඩ පුළුවන් වෙන්ඩ නම් කිහිපයක් කිව්ව නං!” නීනා කීවාය.
“දැන් ඉස්සර වගේ නෙමෙයි. මතක් කරගන්ඩ වෙලා යනව“ නිරහංකාරව එසේ කී සීයා කල්පනා කරන්නට වූයේය.
සැදෑ හිරු අවට කඳු වළලු රත් පැහැයෙන් සිත්තම් කළේය. සිසිල් මඳ සුළඟ හමන්නට වූයේය.
තවත් මොහොතක් නිහඬව සිටි සීයා ටිකකින් කතාව පටන් ගත්තේ බැරෑරුම් ලෙසය.
“සීනුවක් වගේ නාදයක් නඟන නමක් තියෙනව. ලලනාවකට ගැළපෙන විදුලිය වගේ ඉක්මන් ප්‍රාණවත් නමකුත් තියෙනව. ඒ වගේ නමක් තියන බවලතිය හරිම විචිත්‍රයි. නම අහපු ගමන්ම ඒ කවුද කියල අඳුන ගන්න පුළුවනි. ඔව්. ඒ ලස්සන වනිනාවන්ව මං අඳුනනව. ඒගොල්ලො ගැන කතා කරන එකත් ගෞරවයක්. ඔව්. ඒක අසාමාන්‍ය නමක්. සතුට ගෙන දෙන නමක්. ඒ ගැන නං කිසිම සැකයක් නෑ.”
“ඇත්තටම ඒක ලස්සනද?” මුනුපුරා උනන්දුවෙන් ඇසුවේය.
“ආ තව තියෙනව කෙටි නමක්. ඒක වෙඩිල්ලක් වගේ. ඒක අහපු හැටියෙ කවුරු වුණත් පුදුම වෙනව! හරියට කුරුල්ලෙක් ආකාසෙ පියඹනව වගේ ඒක හරිම සුන්දරයි. ඒක කලින් නම වගේ සංගීතවත් නොවුණට තමුන්ට ඒ නම වැටුණු එක ගැන එයා ජීවිත කාලෙම කෘතඥ වෙයි. හැබෑවටම ඒ නම දරන තැනැත්ති ලෝකෙ කොහෙ හිටියත් හරිම විනීත ප්‍රියමනාප තැනැත්තියක් තමයි.!”
“ෂා! කොයි තරං ශෝක්ද?” කෑ ගසා එසේ කී නීනා සිය අත්බෑගය හැර ඉන් කුඩා සටහන් පොතක් සහ පෑනක් එළියට ගත්තාය. සීයා සිය සිතුවිලි අතර කිමිදෙමින් තවදුරටත් කතාව කරගෙන ගියේය.
“තව තියෙනව අකාප්කාප් කුරුල්ලගෙ සින්දුව තරං මහිරි නමක්! ඒ නම කියල අඬගැහුවම නමේ දෝංකාරෙ අෑතටම විහිදෙනව. මුළු වායුගෝලෙම කම්පනයට පත්වෙනව. ඒ නම අහන්ඩ වාසනාව තියෙන්ඩ ඕනැ!”
“මේ ගොල්ලන්ව මහන්සි කරවන්ඩ එපා!”
"ඒගොල්ලන්ට ඔය නං ටික කියන්ඩ! එතකොට ඒගොල්ලො තමන්ට කැමැති නමක් පුංචි මිනිපිරීට තෝරගනීනෙ.”
“ඒව ලියාගන්න එක ඒ තරම් ලොකු වැඩක් නෙමේනෙ.”
“මට පේනව ඔයගොල්ලන්ගෙ ඇස් කුතුහලෙන් පිරිල තියෙන හැටි! කමක් නෑ. පොඩ්ඩක් ඉවසල ඉන්ඩ!”
“ඇත්තටම අපිට ආසාවෙ බෑ!”
සීයා හැමෝටම ඇති පදමට වයින් දුන්නේය. එසේ කොට නිදහසේ නැවතත් දිගටම කතාව කරගෙන ගියේය.
“පෙනුම විනීත වුණාට හිත ඇදගන්නැති ගෑනු ඉන්නව. හැබැයි විනීත වෙන්නෙත් බැලූ බැල්මට විතරයි. හැබෑ ගතිය ඊට බොහොම වෙනස්. සමහර කඩිසර ගෑනු වැඩ කරන හැටි බලා ඉන්ට ආසයි. වැඩ හරියට ඒගොල්ලන්ගෙ අත්දෙක අස්සෙන් ඉගිල්ලිලා යනව වගේ. ඒ වගේ ගෑනු උදවියට බොහොම ලස්සන නම් දීල තියෙනව. ඒ නම් උපදින්නෙ හදවත ඇතුළෙම තියෙන චමත්කාරයෙන්. ඒක අපේ පාරම්පරික උරුමයක්. මුළු කඳු වළල්ලෙම තියෙන මිහිරියාව ඒ නමේ ඇතිරිලා තියෙනව.”
“අපි ඒක හොඳට තියාගන්ඩ ඕනැ!”
“මාත් හිතන්නෙ ඔක්කෝටම වැඩිය හොඳ නම පස්සෙ කියාපු එක කියල!”මුනුපුරා කීවේය. මිනිපිරිය ඊට එකඟ වූවාය. ආච්චිද හිස වැනුවාය. සීයා පෙර පරිදිම කතා කරගෙන ගියේය.
“තවත් නමක් තියෙනව. ඔව්. ඒකත් මං කියන්නං! ඒ නම ඒකටම කතාකර ගන්නව. ඒ නම අනිත් හැම නමක්ම පරාද කරයි කියල මට බයකුත් හිතෙනව. ඒක ඉක්මනින් යන එන කාන්තාවකට සුදුසුම නමක්. එයා වතුර ගේනව. තිරිඟු වවනව. අනල කවනව. හරියට එයා මිදිවැලක් වගේ. එයාගෙ දෙපා හරියට කිරි ගරුඬ වගේ. ෂා! බෙල්ල හරිම සුමටයි. වටකුරුයි. ඒක නම් ගොඩක් සාරය පෙරල අරන් හදපු නමක්!”
“එච්චරද?” ආච්චි ඇසුවාය. සීයා නීතා මිනිපිරිය වෙත හැරුණේය.
“ලියන්ඩ! ලියන්ඩ! මං කියන එක ලියාගන්ඩ! ඒවයින් එකකට ඔයා කැමැති වෙයි ලියාගන්ඩ!”
නීනා නම් ලියා ගන්නට සූදානම් වූවාය.
“හොඳ යමක් කියන්ඩ හොඳ යමක් බොන්ඩත් ඕනැ. එතකොට තමයි වැඩ දෙකම කෙරෙන්නෙ. !”
එසේ කියූ ගේරගරි මුනුපුරා වයින් වීදුරුව ගෙන සූදානම් වූයේය.
“ඔයා ලියාගන්ඩ ලෑස්තියිද?” සීයා, නීනාගෙන් ඇසුවේය.” ආ එහෙනං ලියාගන්ඩ! පළමු වැනි නම තමයි “කයිමට් ඛාන්.” කඳු මුදුන්වල ඉඳන් කතා කරනව වගේ තමයි ඒ නම දැනෙන්නෙ. හරිද? ලියාගත්තද? කයිමට් ඛාන්! මෙන්න දෙවැනි නම හරිම කෙටියි. දෝංකාර දෙනව වගෙයි ඇහෙන්නෙ. මෙන්න ඒ නම ‘කිට්ස්’. ලියා ගත්තද? මෙන්න අනිත් නම. අර කුරුල්ලගෙ ලස්සන සින්දුව වගේ ඇහෙන අනෙක් නම ‘චූඩා!” හරියට ලියාගත්තනෙ. නේද? මෙන්න හතර වැනි නම. අනෙත් නම්වලින් හදාගත්තු ඒ නම තමයි ‘ගුඩ්කාන්!”
අනතුරුව දෑස වසාගත් සීයා ඒ නම් වැල මහ හඩින් නැවත නැවතත් කියාගෙන ගියේය.
නම් ලියා අවසන් වූ මිනිපිරිය නීනා සටහන් පොත අත්බෑගයට දමා ගත්තේ කනස්සල්ලෙන් මෙනි. මුනුපුරා සීයාට ස්තුති කළේය.
බැස යන හිරු ඔවුන්ගේ සමුගැනීම ඉක්මන් කළේය. දෙදෙනා මහලු යුවළගෙන් සමුගත්හ. එකිනෙකා සිප වැලැඳ ගැනීමෙන් අනතුරුව පෙර සිරිත් පරිදි මහලු යුවළ තරුණ යුවළට පලතුරුද දුන්හ. සීයා පසු ගමන්ද ගියේය.
තරුණ අඹු – සැමි යුවළ කඳු පාර නඟින්නට වූහ. කඳු මුදුන හරහා යෑමට පෙර ආපසු හැරී සීයාටත්, ආච්චිටත් අත වැනූහ.
“ඔයින් ගියා ඇති! අර නාකි මනුස්සයට ටිකක් ලූස්!” ගේරගරිට කියැවිණි. ඒ සමඟම ඔවුන් දෙදෙනාගේ මුවින් පැන්නේ සිනහවකි. එහෙත් දෙදෙනාම සිනහව මැඬපවත්වා ගත්හ. ඉන්පසු ඔවුන්ට මහලු යුවළ නොපෙනී ගියේය.
“මං නං හිතන්නෙ ඔයා මුලින් තෝරපු නම් දෙක හොඳයි කියල.” ගේරගරි කීවේය.
“ජෝජ්ට්?” නීනා ඇසුවාය.
“ඔව්… නැත්තං ජූලියට්!”
“අපි එහෙනං කාසියක් උඩ දාමුද?”
“හා!”
“ජෝජට්… ජෝජට් – ජූලියට්… ජූලියට්!”
නීනා තාලයකට ගයන්නට වූවාය.
ඔවුන්ගේ පියවර හා කළුවර පොර බදන්නට වූයේය. ගෙදර වෙනදාට වඩා ළං විය.
| Oct 30, 2024, 7:14 AM (5 days ago) | ![]() ![]() ![]() | ||
|
“පුතේ…………… පුතේ……………
මගේ රත්තරන් පුතේ…….”
කිසිවක් සිතා ගැනීමට තරම් ශක්තියක් මා හට නොමැති විය. උන් තැනම එකම ඉරියව්වෙන් මම මොහොතක් ඒ දෙස බලා සිටියෙමි. දෙදණ බිම හොවා අත්ල එක මත එක තබා ගෙන සිටින ඈ, සෙමින් සෙමින් එම වචන දෙක තුන මුමුණන්නී ය. ඇය සමඟ කතා කිරීමේ අභිලාෂයෙන් අදත් මා මෙහි පැමිණියත්, ඒ දර්ශනය දුටු පසුව කතා කිරීමට තරම් මා හට සිත් නොදෙයි. සෙමින් පියවර මාරු කළ මම ආපසු හැරුණෙමි.
යළිත් මා නිවෙසට පැමිණියේ සිත නොසන්සුන්ව ය. එක දිගට කිසිම දෙයක් පිළිබඳව සිතීමට තරම් නිරවුල් මනසක් මා හට නොමැති සේ ය. ඉස්තෝප්පුවට පැමිණි මම හාන්සි පුටුවෙහි වාඩි වූයෙමි. ඈතින් පිහිටා ඇති ඇගේ නිවෙස රූස්ස කොස් ගස් හා පොල් ගස් අතරින් මෙතැනට පෙනේ. උළු සෙවිලි කළ එම නිවෙස ඉදිරියෙන් දිගින් වැඩි ඉස්තෝප්පුවකි. ඉස්තෝප්පුවට කෙළින්ම ඇති දොර සමඟ ඇත්තේ කාමරයකි. මොහොතකට පෙර මා ඇය දුටුවේ එම කාමරය තුළ දී ය.
මා හට නැවතත් ඇගේ වචන ඇසෙන්නට සේ විය. දෙදණ බිම හොවාගෙන ඈ සිටි ස්වරූපය ඇගේ නිවෙස ඉදිරියෙන් මතු වී මා ඉදිරියට ඇදී එනු සේ මට පෙනුණි. ඒ සමඟ ම මගේ සිත වසර ගණනාවකට එපිට කාලයකට දිව යන්නට විය.
“එකයි …… දෙකයි……….තුනයි…….කෝච්චි පෙට්ටි දහයයි”
මගෙත් ඇගෙත් කුඩා කාලය මා හට සිහිපත් විය. ඉන්ද්‍රාණිත් මමත්, කුඩා කාලයේ දී එක් වී තරගයට කෝච්චි පෙට්ටි ගණන් කළේ එසේ ය.
එම කාල පරිච්ඡේදය අපේ ජීවිතයේ සැහැල්ලුවෙන් ම ගෙවුණ කාලය යැයි මට දැන් සිතේ. කුඩා කාලයේදී ම මවුපිය සෙනෙහස අහිමි වී ගිය ඉන්ද්‍රාණි හැදුණෙ වැඩුණෙ ඇගේ නැන්දා කෙනෙක් සමඟ ය. නැන්දා හැරුණ විට ඇයට සිටි එකම හිතවතිය වූයේ මා ය.
පාසල් දිවියෙන් මමත් ඇයත් සමුගත්තේ එකට ය. උසස් අධ්‍යාපනයට සුදුසුකම් නොලැබූ මම අධ්‍යාපනය නතර කළෙමි. ඈ උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලැබුව ද අගහිඟකම් විසින් ඈ වටා විශාල පවුරක් ඉදි කර තිබුණි. ඒ පවුර මැද අතරමං වූ නැන්දා ඉන්ද්‍රාණිගේ අසරණ බවට වෙනත් කෙනෙකුගේ රැකවරණය සොයන්නට පටන් ගත්තේ ඉන්පසුව ය.
“අනේ යශෝ.. අද ආ ඵක්කෙනා ඔයා දැක්කනම්, ඔයා මොනව හිතාවි ද දන්නේ නෑ. කතා නෑ බිම බලාගෙන හිටියා. අනේ මන්දා…”
බොහෝ දිනවල එවැනි අමුත්තකු ඇවිත් ගිය පසු ඇය කතාව අවසන් කරන්නේ එලෙසිනි. ඇය නිතරම අවසානයේදී “අනේ මන්දා” වශයෙන් පැවසුවේ ඇගේ ජීවිතය හා අනාගතය පිළිබඳ අවිනිශ්චිත බවකින් යැයි ඒ දිනවල මට සිතුණි.
ඉන්ද්‍රාණි කෙදිනක හෝ තනි වේ යැයි සිතු නිසා ම, නැන්දා ක්‍රම ක්‍රමයෙන් ඉන්ද්‍රාණි පිළිබඳව නොරිස්සුම් ස්වරූපයකින් ඇයට දොස් පවරන්නට විය.
“උඹව කැන්දගෙන එන්න මුහුදින් එතෙර ඉඳලා රාජ කුමාරයෙක් එනකම් බලා ගෙන හිටපන්. උඹට මිනිස්සු තෝරන්න මට නම් තේරෙන්නෙ නෑ ”
වරෙක ඉන්ද්‍රාණිට දොස් පවරන ස්වරූපයෙන් ද වරෙක හැඬු කඳුළෙන් ද නැන්දා කතා කළ දින ගණන් බොහෝ සේ විය. ඒ කෙසේවුව ද දුක් කම්කටොලු පිරි පවුරක් මැද තනි වී සිටි ඉන්ද්‍රාණිට එම පවුර කඩා බිඳ දමා පිටතට පැමිණීමට හැකි වූයේ ඇයත්, නැන්දාත්, අපත්, මුළු ගමත් මවිතයට පත් කරමිනි. කිසිවෙක් නොසිතූ ලෙසට ඇගේ නැන්දා කට පාඩම් කර ගෙන කිව් ලෙසට කරදිය වළල්ලෙන් එපිට සිට සිරිමෙවන් ඇය සොයා ගෙන ඇවිත් තිබුණි.
එතෙර රැකියාවක් කළ සිරිමෙවන් යළිත් තම උපන් රටට පැමිණ තිබුණේ සිහල මනාලියක් සොයාගෙන ය. ඒ මනාලිය ඉන්ද්‍රාණී බවට පත් වූයේ නැන්දාගේ ද ආශීර්වාදය සමඟ ය. ඉන්පසුව ඔවුනගේ ජීවිතය ඉතාම සතුටින් ගෙවුණ බව දැන ගත් මම ද සොම්නසට පත් වූයෙමි.
එහෙත් නැන්දා ට තමා සමඟ විඳි දුක් කන්දරාවට සරිලන සේ සැපක් දීමට ඉන්ද්‍රාණිට හැකි වූයේ නැත. ඔවුන් විවාහ වී මාස ගණනකින් පසුව නැන්දාගේ මරණය සිදු වූයේ නොසිතු මොහොතක ය. නැන්දාගේ මරණින් පසුව සිරිමෙවන්ගේ සෙවණ හා රැකවරණය නිසා ඉන්ද්‍රාණි ජීවිතයට ශක්තිමත්ව මුහුණ දුන්නා ය.
“ම් …. යශෝ… ඔයාට රහසක් කියන්න තියනවා”
ඔවුන් අතරට අමුත්තකු පැමිණෙන බව ඇය මට ඉඟි කළ අයුරු මට තවමත් මතක ය. ප්‍රමෝද් නමින් ඔවුන් අතරට පුතකු පැමිණියේ ඉන් අනතුරුව ය.
පුතු ලැබී අවුරුදු දෙක තුනක දී පමණ ඉන්ද්‍රාණි යළිත් තනි වූ අයුරු සිහිවන විට මගේ සිතේ කොනකින් තවමත් නැඟ එන්නේ සිහින් වේදනාවකි. සිරිමෙවන් ඉන්ද්‍රාණි සහ පුතණුවන් තනිකර දමා ජීවිතයෙන් සමුගත්තේ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයකිනි. සිරිමෙවන්ගේ මරණය නිසා ඉන්ද්‍රාණි පුතු සමඟ නැවත තනි වුවා ය. එදින තරම් ඉන්ද්‍රාණි හැඬූ දිනයක් මා කිසිදු දිනක දැක නැත. ඇය මා දුටු විගස ම මගේ උරහිස මත මුහුණ හොවාගෙන ඉකිබින්දා ය.
“මං තනි වුණා යශෝ …..මං තනි වුණා……”
ඉකිබිඳුම අතරින් ඕ ආයාසයෙන් පැවසුවා ය. සිරිමෙවන්ගේ මරණයෙන් මාස කිහිපයකට පසුව මගෙත් ඇගෙත් ඇසුර දුරස් විය. ඒ මට ද විවාහ වී ඈත පළාතක පදිංචියට යාමට සිදු වූ නිසා ය.
ඉන්පසුව අප වරින් වර දුරකතනයෙන් කතා බහ කෙරුවෙමු. ඒ හැර මට ඉන්ද්‍රාණි සමඟ කතා බහ කිරීමට හැකි වූයේ නිවාඩු සමයේ සැමියා සමඟ ගමට පැමිණි දින කිහිපය තුළ දී ය. එම කාලය තුළ දී කෙසේ හෝ ඉන්ද්‍රාණිත් මමත් අපේම දේ පිළිබඳව කතා කිරීමට පුරුදු වූයෙමු.
“නැන්දා මං හදාගන්න විඳින්න ඇති දුක් කන්දරාව දැනුයි මට තේරෙන්නේ යශෝ”
මා සමඟ කතා කළ සෑම දිනකම වාගේ ඈ පවසන්නේ නැන්දා පිළිබඳව තොරතුරු ය. ඒ සමඟම මිය යාමට පෙර නැන්දා නිතර නිතර පැවසූ දෙයක් ඕ මා සමඟ පැවසුවා ය.
“කවදා හරි උඹත් අමමා කෙනෙක් වේවි. එදාට ගුණ යහපත් විදියට දරුවෝ හදපන් ඉන්ද්‍රාණි”
මිය යාමට මාස ගණනකට පෙර ද නැන්දා ඉන්ද්‍රාණි සමඟ පවසා ඇත. ඇගේ හිත තුළ එම වචන කිහිපය තුළ තිබුණේ දැඩි භක්තියෙකි. ඇයට අවශ්‍ය වූයේ ද, තම පුතු පුමෝද් හොඳ මඟ යවා යහපත් මිනිසකු කිරීමට ය. එහෙත් යමක් කමක් තේරෙන වයසට එන විටදී ම, ප්‍රමෝද් නොමඟට යොමු වී ඇති බව දිනක් දුරකතනයෙන් කරන කතාබහ අතරේ දි ඉන්ද්‍රාණි පැවසුවා ය.
ගමේ සිදුවන අඬදබරයකට, සොරකමකට ප්‍රමෝද් නිතරම මුල් විය.
ප්‍රමෝද් නිසා අවමන්, දුක් පීඩා අහස උසට ඉන්ද්‍රාණි විඳින්නට ඇති යැයි මට දැන් සිතේ. අවසානයේ වැහැරී ගිය ඇගේ සිරුරත් තැනින් තැන සුදුවී ඇති ඇගේ කෙස් රොදවල් කීපයත්, වේදනාබර දෑසත් පමණක් ඇය සතු වන්නට විය.
“උදේ ගියාම රෑට ගෙදර එන්නේ. අර දහජරාව දැන් කටේ ගා ගත්ත ගමන්”
වරෙක ඉන්ද්‍රාණි එසේ පැවසුවා ය. කාලය කෙමෙන් ඉගිළ ගියේ ය. වරක් මා ගමට පැමිණි පසු ඉන්ද්‍රාණි මා සමඟ කතා කළේ ඉතා සතුටිනි. සැහැල්ලුවකිනි.
“දෙවියන්ගෙ පිහිටෙන් කරදර සේරම ඉවරයි යශෝ. පුදුම විදියට පුතා ටිකෙන් ටික වෙනස් උනා. දැන් ඉස්සර වගෙ නෙවෙයි පුතා”
ඉන්ද්‍රාණිට මෙන්ම මගේ සිතට ද ගෙන ආවේ අපමණ සතුටකි. ඉන්ද්‍රාණි තොරතෝංචියක් නැතුව පුතාගේ වෙනස් වීම පිළිබඳව මා සමඟ කතා කළා ය.
තම පුතු දුරු රටක රැකියාවක් සඳහා යාමට අවශ්‍ය කටයුතු සුදානම් කරන බව ද අනතුරුව ඕ මා සමඟ පැවසුවාය.
ඇය පැවසූ පරිදි ප්‍රමෝද් වසර තුනක පමණ කාලයක් විදේශ රටක රැකියාවක් කළේ ය. ඒ කාලය තුළ දී ඉන්ද්‍රාණි ළඟ තිබූ දුක් පීඩා ක්‍රම ක්‍රමයෙන් ඉවත්ව යන ලෙසක් ද මට ද දැනුණි.
එහෙත්…! එහෙත් මෙවර ගමට පැමිණි මට දැනගන්නට ලැබුණේ ඉන්ද්‍රාණි පිළිබඳව හිතට වද දෙන ආකාරයේ තොරතුරකි. පසුගිය මාස කිහිපයක සිදු වූ සිදුවීම් ඕ මා සමඟ දිගින් දිගටම පැවසුවා ය.
“යශෝ මේ මගේ කරුමේ. මං ගිය ආත්මෙ කළ පව් දැන් මට ගෙවන්න වෙලා”
ඇය ඇයගේ ඉරණම ගෙවා නිම කළ නොහැකි කරුමයකට බාර දී ඇත. ප්‍රමෝද් ඉන්ද්‍රාණිගේ විරුද්ධත්වය මැද මෙතෙක් රහසක්ව තිබූ ඔහුගේ ප්‍රේම සබඳතාවයේ ආදරවන්තිය සමඟ විවාහ වී ඇත. ඒ දැනට මාස හයකට පමණ පෙර ය.
“රට යන්න ඉස්සර වෙලා ඉඳලම මේ සම්බන්ධය තිබුණලු”
ඉන්ද්‍රාණි කතා කළේ කෝපයෙනි.
“ඉතින් ඉන්ද්‍රාණි ඒ දැරිවිගේ වරදක් නෑනෙ“
එවිට මම කීවෙමි.
“වැරැද්දක්? යශෝ දන්නෙ නෑ. ඒකිගේ තාත්තා අම්මගේ ආගිය තැන් මුල් ගිය තැන්… ඊටත් ගෙයක් දොරක් නැති කෙල්ලක්”
ඉන්ද්‍රාණි කෝපය පිරි වචන රැසක් මට ද දමා ගැසුවා ය.
“ප්‍රමෝද් උනත් හිටියෙ කොයිතරම් දඩබ්බර විදියට ද? ඉතින් ඒ දැරිවි ඒ කිසිම දෙයක් ගණන් නොගෙන නේ ඇවිත් තියෙන්නෙ“
ඇගේ සිතේ යළිත් මතු වී ඇති දුක් පීඩා නැති කරන අටියෙන් මම කිව්වෙමි.
“මෙහාට කැන්දන් එන්නයි හැදුවෙ. මං ඉඩ දුන්නෙ නෑ. ඔය වගෙ අය අපේ ගෙවල්වලට ගන්න පුළුවන් යැ. දැන් ඔය ගෙයක් බදු අරගෙන ඉන්නෙ”
ඉන්ද්‍රාණි කියාගෙන ගියා ය.
“මෙහාට එක්ක ආවොත් මං ගෙදරින් යනව කියල මං කිව්වා”
ඉන්ද්‍රාණි කතා කළේ හිතේ ඇති කෝපයත් සමඟ ය.
“ලේළි කෙනෙක් ආව නම් ඉන්ද්‍රාණිටත් හොඳයි. කිසි කරදරයක් නැතුව ඉන්න තිබුණා”
මා එසේ පැවසු විට කෝපය පිරි දෙනෙත් ඇය ඉවතට හරවාගෙන ස්වල්ප වේලාවක් කතා නොකර සිටියා ය.
“මට ඕනෙ නෑ යශෝ කවුරුවත්. දුක කියන එක මට අමුතු දෙයක් නෙවෙයි. මැරෙනකම් මං මෙහෙම ඉන්නවා. මොනව හරි තියෙන දෙයක් තම්බගෙන කාලා ”
දිගු නිහැඬියාවකින් පසුව අවසානයේ ඉන්ද්‍රාණි එසේ පැවසුවා ය. ඇයට ප්‍රමෝද් පුතු වරදක් කර නොමැති බව වටහා දීමට උත්සාහ ගත්ත ද එය ගඟට කැපූ ඉණි සේ විය.
“නෑ යශෝ මං හිත හදාගෙන දැන් ඉන්නේ. මං දුක් වෙන්නේ නෑ. මං හිතන්නේ නෑ පොඩ්ඩක්වත් පහුගිය දේවල් ”
ඊයේ ඇය එසේ පැවසුවේ තවදුරටත් පුතු ගැන කතා නොකරන ලෙස කීමට මෙන් යැයි ඒ මොහොතේ මට සිතුණි.
අදට දින දෙක තුනකට පෙර හදිසියේම මට ප්‍රමෝද් හමු විණි. ඉන්ද්‍රාණිගේ හිතේ ඇති වේදනාව දුරු කර ඇයව සැහැල්ලු ජීවිතයකට අවතීර්ණ කිරීමේ අවශ්‍යතාව නිසාම මම ප්‍රමෝද් සමඟ ඔහුගේ මව ගැන කතා කෙරුවෙමි.
“යශෝ නැන්දා දන්නේ නෑ. අයෝමා තමයි මගේ ජීවිතය වෙනස් කළේ. දඩබ්බරයෙක් වෙලා හැමෝටම එපා වෙච්ච මාව හොඳ මිනිහෙක් කළේ අයෝමා. මම අම්මට කිව්වා මේ විස්තර”.
ප්‍රමෝද් මා මේ කතන්දරයේ නොදත් පැතිකඩක් පිළිබඳව මට කියා දුන්නේය.
ජීවිතයේ කීප වතාවක්ම ඉන්ද්‍රාණි සොයා පැමිණි, දුක් පීඩා ඇගේ ජීවිතය හෙම්බත් කළේ ය. එහෙත්……. එහෙත්…… මේ වතාවේ… ඉන්ද්‍රාණි විසින් ම තනිකම සොයා ගොස් ඇති බවක් මට සිතේ. පුතුත් ලේළිත් සමඟ එකම වහලක් යට සිටීමට හැකි කම තිබිය දී, ඇය විසින් ම දැන් තනිකම වැළඳ ගෙන ඇත.
කිසිදු දෙයක් පිළිබඳව නොසිතා සිත එක්තැන් කරගෙන සිටින බව ඉන්ද්‍රාණි පසුගිය දින කිහිපයේ දී ම මා සමඟ පැවසුවා ය. ඇය එසේ පැවසුවත් පුතු පිළිබඳ අසීමිත සෙනෙහස ඇගේ හදවත පුරාම දිව යන්නේ ඇයටත් නොදැනීම ය.
“පුතේ……….පුතේ මගේ රත්තරන් පුතේ… ”
එම වචන කිහිපය සමඟ යළිත් මගේ දෑස් ඉදිරියේ ඉන්ද්‍රාණිගේ රූපය ඇඳී නොපෙනී යන්නට විය.
https://www.silumina.lk/2024/11/09/news-features/28967/%e0%b6%b4%e0%b7%94%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb-%e0%b7%83%e0%b7%8a%e0%b6%b1%e0%b7%9a%e0%b7%84%e0%b6%ba/- අනිල් හේරත්
චෝදනාව: ජනාධිපතිතුමා ඝාතනයට තැත් කිරීම.
චේතනාව: ජනාධිපතිතුමා ඝාතනය.
උපක්‍රමය : ජනාධිපතිතුමා ගමන් කළ වෙඩි නොවදින රථයට කාන්තා සපත්තුවකින් දමා ගැසීම.
සිද්ධිය වුණේ උදේ. ජනාධිපතිතුමා ආවෙ වාහන හයක. මුලින්ම පලවෙනි පරිවාර වාහනේ. ඊට පස්සෙ දෙවෙනි වාහනේ. පරිවාර වාහනයක් වගේම පෙනුනට ඒක තමයි වාහනේ. ඒකෙ ඉස්සරහ වීදුරුවට තමයි රතුපාට කාන්තා සපත්තුව වැටුණෙ. පැත්තකින් ගැලවුණ කළුපාට අඩියක් තිබ්බ.
ඇස් මානෙට මොකක් හරි පාත්වෙනව දැකපු ගමන් වාහනේ රියැදුරා එකතැනම තිරිංග පෑගුවා. ඒ ගැම්මට පිටිපස්සෙන් ආව වාහන හතරම තිරිංග තද කළා. පිළිවෙලට.
ඊළඟට පිටිපස්සෙ වාහන හතරෙ දොරවලුත් ඒ පිළිවෙලටම ඒ කාල අන්තරයෙන්ම ඇරුණා. ටිකක් ඉස්සරහට ගිහින් සිද්ධිය දැකපු නිසා පළවෙනි පරිවාර වාහනේ තිරිංග පෑගුණෙත් දොරවල් ඇරුණෙත් ටිකක් පහුවෙලා.
දොරවල් ඇරුණ ගමන් කට්ටිය එළියට පැන්නා. එක තුන හතරෙන් කාකි ඇඳුම් ඇඳපු අය. පහෙනුයි හයෙනුයි වයිවාරණ පාට අය. රියැදුරොයි ජනාධිපතිතුමයි එතුමගෙ ඔඩොක්කුවෙ හිටපු කුක්කයි විතරයි බැස්සෙ නැත්තෙ.
තත්පර විස්සක් යන්න කළින් කාකි ඇඳුම් ඇඳගත්ත අය දෙවෙනි වාහනේ වටේ හිටගත්තා. ජනාධිපතිතුමාගෙ ඔඩොක්කුවෙ ඉන්න කුක්කා ඉන්න වාහනේ.
කාකි වලල්ලට පිටින් වටපිට ඇහැලාමින් පාට පාට අය කැරකුණා. එයින් කෙනෙක් තමයි බොනට්ටුව උඩ තිබුණු කාන්තා සපත්තුව දැක්කෙ. සපත්තුව දැකපු බැල්ම උඩට අරන් යනකොට එයා ජනාධිපතිතුමාගෙ මූණත් දැක්කා. ඉස්සරහ වීදුරුව ඇතුලෙන්. ඒ මූණ කළුම කළුයි. කළුපාට සපත්තුවෙ අඩිය ගානටම. සමහරවිට ඊටත් වඩා.
පාට පාට කෙනාට පණිවිඩේ තේරුණා. සපත්තුව අතට ගත්තා. කුක්කා හිටපු වාහනේ ඉස්සරහින් බුල්ඩෝග් ලීලාවෙන් හැරුණා. පාරෙ වම්පැත්තෙ තිබුණු බස් නැවතුම දිහාට ඒ ගමනින්ම ඇවිදගෙන ගියා. එහෙම ඇවිදගෙන යන අතරෙ මුලින්ම මුණ ගැහුණු කෙනාට ගැහුවා. මූණ පුරවලා.
ඒත් එක්ක පාට පාට රෑනම ඇවිස්සුණා. හිස් ලූ ලූ අත පැනගෙන ගහගෙන ගහගෙන යන්න පටන් ගත්තා.
මිනිස්සු. ගෑනු. පිරිමි. ගුටිකාපු අය. නොකාපු අය. ඉහ හැරුණු අතේ දිව්වා.
සුරංග.
දිව්වෙ නෑ.
පුපුරු ගහන කම්මුල අතකින් තදකරගෙන එහෙමම හිටියා.
පාට පාට රෑන සුරංගව වටකරගත්තා. කාකි රෑන පාට පාට රෑනව වටකරගත්තා.
එතකොටම මාධ්‍යය ඇවිත් කට්ටියව වටකරගත්තා.
අන්තිමට.
ජනාධිපතිතුමා පිඹලා ගියා. කුක්කයි රෑනයි එක්කම.
සුරංගව පොලිසියට අරන් ගියා. මාධ්‍යය පොලීසිය පස්සෙන් ගියා.
පොලීසියෙදි.
මාධ්‍යයට එළියට වෙලා ඉන්න වුණා. සුරංගට ඇතුලටම යන්න වුණා.
මාධ්‍යය හිටගෙනම හිටියා. සුරංගව ඉන්දෙව්වා.
" ඒ සෙරෙප්පුව කාගෙද?"
ඉන්දවපු සුරංගගෙන් හිටගෙන හිටපු නිළධාරියා පළවෙනි ප්‍රශ්නෙ ඇහුවා.
" මට බඩගිනියි "
සුරංග උත්තර දුන්නා.
" තෝ පිස්සෙක්ද?"
දෙවෙනි ප්‍රශ්නෙ ඇහෙන ගමන් කන හරහා අත් පාරක් ඇදිලා ගියා.
ඒ පාරට සුරංග පුටුවත් පෙරළගෙන ඇද වැටුණා. ඇද වැටුණු සුරංගට සිහි නැති වුණා.
වතුර ඉහුණා.
ඉන්දවුණා.
හුළං ගැහුණා.
සිහිය එවුණා.
සිහිය ඇවිත් ටික වෙලාවක් යනකොට පොඩි මේසයක් ආවා.
මේසෙ සුරංගට කිට්ටු වුණා.
කිට්ටු වුණ මේසෙ උඩට පාන් බාගයයි මාලු හොද්දයි දීසියයි පිඟන් දෙකයි වතුර වීදුරුවයි ආවා.
වෙන නිළධාරියෙක් කන්න කියලා අඟවමින් ඔළුව වැනුවා.
සුරංග හොදි බෙදා ගත්තා. පාන් කඩා ගත්තා. මාලු හොද්දෙ පොඟවලා පාන් කෑවා.
පාන් බාගෙ ඉවර වුණාම වතුර බිව්වා.
මේසෙ අයින් වුණා. වෙන නිළධාරියා සුරංග ඉස්සරහින් ඉඳගත්තා.
" ඒ සෙරෙප්පුව කාගෙද?"
" දන්නෙ නෑ"
" කොහෙද තිබ්බෙ?"
" දන්නෙ නෑ"
" එහෙනම් තමුන් ඒකෙන් ගැහුවෙ"
" මොකේටද?"
වෙන නිළධාරියටත් සෑහෙන්න තරහ ගියා. එයා හිටපු පුටුව පෙරළෙන්න තරම්. ඇත්තටම ඒක පෙරළුණේ අහම්බෙන්. එයා හිටගත්ත වේගෙට.
හිටගත්ත එයා ටිකක් හිටියා. වැටුණු පුටුවෙ සද්දෙ නතරවෙනකල්. ඊට පස්සෙ ඊට වඩා ටිකක් අඩු සද්දෙන් ප්‍රශ්නෙ ඇහුවා.
" එතකොට තමුසෙ නෙවෙයිද ගැහුවෙ?"
"මං නෙවෙයි තමයි ! "
ඒ ගමන නම් සද්දෙ වැඩි වුණා. පුටුව වැටුණු සද්දෙටත් වඩා.
" එහෙනම් මොකද යකෝ දිව්වෙ නැත්තෙ?"
සුරංග ඒකට උත්තර දුන්නෙ නෑ.
ටික වෙලාවකට පස්සෙ වෙන නිළධාරියා ආපහු ඒ ප්‍රශ්නෙම ඇහුවා. වෙන වචනවලින්. අඩු සද්දෙන්.
" ඇයි තමුසෙ දිව්වෙ නැත්තෙ?"
සුරංග තවත් ටික වෙලාවක් නිහඬව හිටියා.
ප්‍රශ්නාර්ථයක් මූණෙ තියාගෙන ඔලුව ඉස්සුවා.
හැඟීමක් නැති ස්වරෙකින් උත්තර ප්‍රශ්නයක් ඇහුවා.
" කොහෙට කියල දුවන්නද?"
https://wasnthayeaga.blogspot.com/2022/01/blog-post.html?m=1
පාර් ගැන කතාවක් ලියන්නට ඕනෑ යයි පසුගිය දිනෙක මම කීවෙමි. ඒ කවදා කුමක් නිමිති කරගෙනදැයි මට මතක නැත.
මේ සතියේ ගෙදර එන්නට නොලැබෙන බව කීමට අම්මාට දුරකථනයෙන් කතා කළ විට පාර් මිය ගිය පුවත ඇය මට කීවාය. මා එය මගේ බිරිඳට කී මොහොතේ ඇය මහ හඬින් හඬා වැලපුණාය.
පුංචි කාලයේ සුරතල් බල්ලකු, පූසකු මළ විට දැනුණ වාවාගත නොහැකි දුක මට නොදැනුණ මුත් නෙතට කඳුළක් නැගිණි.
ගිය සති අන්තයේ ගෙදර ගිය විට පාර් පෙනෙන්නට නොසිටි බැවින් මම විපරම් කළෙමි. ඇය අසනීපෙන් බව අම්මා කීවාය. මා ඇය සොයා යන විට ඇය සිටියේ පිළිකන්නේ අත්හැර දමා තිබුණු මාළු ටැංකියක නිදාගෙනය. මා ‘පාර්’ කී විට ඇය වෙනදා පරිදිම හිස ඔසවා බැලුවාය. ඇදී ගිය මුහුණේ වූයේ වේදනාබර පෙනුමකි. ඇගේ නාසය මුල තෙත අඩවිය වියලි දුඹුරු පැහැති කබොල්ලක් සේ පෙනිණි. ඇදී ගිය ඇගේ සිරුරේ වෙනදා පැවති බැබලෙන සුද බොර පැහැයකට හැරී තිබිණි. අත්හැර දමන ලද මාළු ටැංකියේ තිබූ පස් නිසා විය හැකිය. ඇයට සුව වූ පසු නෑවිය යුතු යයි මම සිතාගත්තෙමි. එහෙත් ඇයට බෙහෙත් ටිකක් අරන් දිය යුතු යයි මට සිතුණේ නැත්තේ ඇයි? බළලුන් මෙසේ අසනීප වී සුව වීම අපට අලුත් දෙයක් නොවූ නිසාද?
“අනේ මැරුණෙ බෙහෙතක්වත් නැතුව,” යි බිරිඳ වැලපුණාය. අපට පාර්ගේ මිනියවත් දැකගැනීමට නොහැකි විය. ඊළඟ සති අන්තයේ ගෙදර ගිය විට බිරිඳ පාර් වැළලූ තැන මල් අත්තක් සිටෙව්වාය. ගෙවල්වල ඇති කරන සාමාන්‍ය බල්ලන්ට, බළලුන්ට පුංචි පුංචි අසනීවපලදී බෙහෙත් අරගෙන දීමේ සම්ප්‍රදායක් අප අතර තිබුණේ නැත. ඔවුහු කැලෑ කොළ වර්ග කා තමන්ම ප්‍රතිකාර කරගත්හ. අප ඇත්තෙන්ම ඔවුන් ඇති කළා නොව, ඔවුන්ට අපේ පරිශ්‍රයන් ආශ්‍රිතව ජීවත් වීමට උදව් කළා පමණි.
පාර් මීට කලින් ද කීප විටක්ම අසනීප වූවාය. ඒ අතරින් ලොකුම අසනීපය වුණේ පොලිස්කාරයා නමැති බළලා ළා බාල වියේ සිටි ඇය දූෂණය කළ අවස්ථාවේ ඇති වූ කිසියම් තැල්මකින් ඇගේ සිරුරේ ඇලපතක සමට යටින් ගෙඩියක් හටගැනීමයි.
ඒ දවස්වල අප සිටියේ අනුරාධපුරයේයි. දිනක් හැන්දෑවේ ව්‍යායාම සඳහා බයිසිකලය පදිමින් ගෙදර දෙසට එමින් සිටියදී කූඹිච්චන්කුලම වැව අද්දර පාළු පාරේ අඳුරේ වාහනවලට බියේ එහෙ මෙහෙ පනිමින් සිටි සුදුපාට ගුලිය එක් අතකින් පපුවට තුරුළු කරගෙන, අනෙක් අතින් බයිසිකලය පැදගෙන මම ගෙදර ආවෙමි. හුළං පාරේ සැරට පූස් පැටියා බියෙන් සැලෙමින් හිස ඉවතට හරවා ගත්තාය/ ගත්තේය. ඌ බැළලි පැටවකු බව දැනගත්තේ ගෙදර ගෙනැවිත් පස්සා කකුල් දෙක මෑත් කර බැලූ විටයි.
එළියට අල්ලා බලන විට ඇය ලස්සන එකියක බව පෙනිණි. පුළුන් සුදු පාට ශරීරයේ තැන තැන කළු හා අළු පාට බතික් මෝස්තරයක් විසිරී තිබිණි. එහෙත්, ඇගේ මුහුණේ සුන්දරත්වය අපේ සිතට වැදුණේ ටික දිනකට පසුවය. වෙන බළලුන්ගේ මුහුණුවලට වඩා ඇගේ වටකුරු, ලොකු ඇස් සහිත මුහුණ සුන්දර බව මුලින්ම කීවේ බිරිඳයි.
ඉස්පිරිතාලයේ තැන තැන වෙසෙන බළලුන් ගැන සුරතල් කතා ඇය මට කියා තිබිණි. පූසකු ඇතිකිරීම පිළිබඳ අපි මීට පෙර කතා කර තිබිණි. එහෙත්, පිරිසිදුකම ගැන මහත් සේ සැලකිලිමත් වූ ඇයට අපගේ නිවසෙහි බළලකු ඇතිකිරීමෙන් ඇති වන ප්‍රශ්න ගැන විචිකිච්ඡාවක් තිබිණි. ඒ ප්‍රශ්නයට අපි පළමු පැයේදීම මුහුණ දුනිමු. බිරිඳ ඇයට කරවල සමග ඇනූ ලොකු බත් අහුරක් දුන්නාය. උපන්දා සිට බඩගින්නේ සිටි එකියක සේ ඌ එය වහ වහා ගිල දැම්මාය. බළල් පැටවාට අපේ ගෙදර නුහුරු බැවින් පිටතට ගියොත් ඌ අතරමං විය හැකි නිසා දොරවල් වසා තබන ලෙස බිරිඳට කියා මම නාන්නට ගියෙමි. නා හමාර වී එන විට ඌ අතුරුදහන් වී සිටියාය. මගේ කීම නොඅසා දොරවල් ඇර තැබූ බිරිඳට බැන බැන ඇයත් සමග මම ගෙය හා වත්ත පුරා ඌ සෙවීමි. බළල් පැටවා අතුරුදහන් වීම ගැන බිරිඳත්, මමත් රණ්ඩු ද වුණෙමු. බලාපොරොත්තු අතහැර ගෙට පැමිණ නිකමට මෙන් අපේ නිදන කාමරයට යන විට ඌ ඒ මත දමා තිබුණු සෝදා වේලූ රෙදි ගොඩක් මත සැපට නිදාගෙන සිටියාය.
මම එය බිරිඳට පෙන්වීමි. ඇය කුපිත වූවාය. ඌ බිමට ඇද දැමූ ඇය උගේ ඇඟේ ගෑවුණ රෙදි තෝරා නැවත සේදීම සඳහා ආපසු කිළිටි රෙදි කූඩයට දැමුවාය. “අපි මූව ආපහු ගිහින් දමමු,” යි ඇය වහා යෝජනා කළාය. එහෙත් එය ක්‍රියාත්මක කිරීමේ දැඩි වුවමනාවක් අප දෙදෙනාටම නොතිබිණි. එදා පටන් ඌ අවස්ථා ගණනාවක අපේ ඇඳ මතත්, සෝදා වේලූ රෙදි මතත් නිදාගෙන අසු වී ගුටි කෑවාය. හෙදියක වූ මගේ බිරිඳට ඇඳ පුදසුනක් සේ තබාගැනීමට ඕනෑ විය. එහෙත්, පාර් කෙතරම් ගුටි කෑවත් අවස්ථාව ලද හැටියේ අපේ ඇඳම උගේ සුව යහන කර ගත්තාය. උදේ ගබ්සාව සඳහා ඌ තෝරා ගත්තේ ද අපේ යහනයි. වතුර මල්ල පුපුරා ගලා ආ ජල දහරාව අපේ ඇඳ රෙද්ද යටින් මෙට්ටයට ද උරාගෙන තිබිණි.
ඌ පුටු කොට්ටවල නිදා ගන්නවාට අප අකැමැති බව පාර් දනියි. එහෙත්, අප එහා මෙහා වන තුරු සිට මැඩගත නොහැකි ආශාව නිසා පුටු කොට්ටවල ලගින ඌ ඇතැම් විට අප දකින විට හෙමින් සැරේ එයින් බැස බිම ලගියි. බිරිඳ ඌට සුවපහසු කොට්ටයක් මසා දුන්නද ඇය කැමති වූයේ අප අකැමැති තැන්වල ලැගීමටයි.
ඌට පාර් කියා නම තැබුණේ ඌ හමු වූ පසු අප නැරඹූ පාර් නමැති හින්දි චිත්‍රපටයේ නමිනි. පාර් යන හින්දි වචනයේ අරුත ‘එතෙරවීම’ යයි මා අසා තිබිණි. එයට දෙමළ තේරුමක් ද ඇති බව මම දැන සිටියමි. එහෙත්, පාර්ට ඒ නම වැටුණේ අන් කිසිවක් නිසා නොව පාරේ සිට අහුලාගෙන ආ නිසාය.
පාර් අපේ ලෝකයට ඇතුළු වූ ෆොරින් බොඩි එකක් හෙවත් ආගන්තුක දේහයක් වැනි යයි මගේ බිරිඳ ජීව විද්‍යාත්මකව පැවසුවාය. ඌ ගේ ඇතුළේ රුන්නාය. චූ කළාය. මුල් කාලයේදී මම ඌ වෙනුවෙන් කුස්සියේ වැලි කොළපතක් තැබුවෙමි. බිරිඳ එය අස් කිරීම මහත් සේ පිළිකුල් කළාය. එය අස් කිරීම ඇත්තෙන්ම ඔලුව අවුල් කරන වැඩකි. කුස්සියේ උදුන යට දර ගොඩේ පාර් චූ කරන්නට පටන් ගත් විට නම් ඇයට පාර් එපාම විය. චූ කරනවාට අමතරව එතන මළපහ කරන්නට ද පටන් ගත් විට ඒවා අදින්නට වූයේ මටයි. දවසක් ඌ මහ දවල් චොර චොර ගාමින් කුස්සියේ චූ කරනවා දැක මම වියරු වැටුණෙමි. උගේ මුහුණ චූ ගොඩේ උලා පහර දුන් මම ඌ අල්ලා පසුපස දොරෙන් එළියට විසි කළෙමි. මුත්‍රාවලින් පෙඟුණු, බියපත් පාර් මිදුලේ පඳුරක් යට සැඟවෙනු දුටු මගේ සිත හඬා වැටිණි. මම ඌ අල්ලා ගෙනැවිත් නාන කාමරයේ වතුර මලෙන් සබන් ගා නෑව්වමි. එය ඌට තවත් දඬුවමක් විය.
පාර් අපේ ගෙදර වාසටය ආ පසු, නිතර තාප්පය උඩ නිදන, රැවුල්කාර පෙනුම නිසා පොලිස්කාරයා නමින් මගේ බිරිඳ නම් තැබූ, අයිතිකාරයකු නැති රස්තියාදුකාර බළලා විමසිලිමත් වූයේය. ගෙයත්, මිදුලත් පුරා නටන අපේ පුළුන් බෝලය ඌට බිය වී වලිගය පුම්බාගෙන ගෙතුළට දිව ආ වාර ගණන අපමණය. ඌ එන්නේ පාර් කෑමට යයි බිරිඳ මට කීවාය. මට නම් උගේ හැසිරීමේ දක්නට තිබුණේ වනචර කාමුක සෙවල ගතියකි. මා සිතුවා හරිය. ඌ දිනක් හැන්දෑවේ අඩ අඳුරේ මිදුලේ සෙල්ලම් කරමින් සිටි ළාබාල පාර් රවටා කාණුව අද්දරට ගෙන ගොස් දූෂණය කළේය. කෑගැසීම ඇසී අප ටෝච් අල්ලා බලන විට පාර් කාණුව තුළ වැටී කකුල් හතර උඩ තියාගෙන ගොරවමින් සිටියාය. අපි ඌ ගෙනැවිත් වතුර බටයකින් උගේ පස්සා පැත්ත සෝදා ගෙට ගෙන ගියෙමු. ඌ සිටියේ මහත් බියපත්වය. දින ගණනාවක්ම නොකා නොබී, රිදෙන ඇඟපත හකුළුවාගෙන කුස්සියේ පුටුවක් උඩ නිදාගෙන සිටි ඌ මැරෙනු ඇතැයි මට සිතිණි. මම උගේ ඉදිමුණු ඇලපත අතගෑවෙමි. එයින් සහනයක් ඇති බව දැනගත් ඌ එතැන ලෙවකෑමට පටන් ගත්තාය. අන්තිමේදී ගෙඩිය පැලී සිරව පිට විය. බිරිඳ ප්‍රතිජීවක බෙහෙතක් කුඩු කර කිරිවලට මුසු කර ඌට දුන්නාය. ටික දිනකින් ඌ යළි සුපුරුදු සෙල්ලක්කාරිය වූවාය. අන්තිමේදී ඌ දූෂණය කළ පොලිස්කාරයාගේම පෙම්වතිය වූන තරමේ නැට්ටුක්කාරියක වූවාය.
හෙළවෙන ඕනෑම දෙයකට කඩාපැනීමේ ඇගේ සුරතල් පුරුද්ද ඌ මැරෙන්නට වැටෙන්නට දින කීපයකට පෙර දක්වාම ඌ අතහැරියේ නැත. මම මගේ අතක් පාර් සමග සෙල්ලම් පොරට යොදා විනෝද වුණෙමි. තනි අතින් ඌ පැරදවීම මට පහසු වූයේ නැත. ඌ මගේ අත පහුරු ගෑවාය. ජලභීතිකාව නිසා බිරිඳ ඒ සෙල්ලමට දැඩි ලෙස විරුද්ධ වූවාය. එහෙත්, ඇය බොහෝ විට පාර්ගේ ගතිගුණ හොඳ බව පැවසුවාය.
නිවාඩුවකට ගමට යන විට පාර් අපට මහත් ප්‍රශ්නයක් විය. බිරිඳ උදේ පාන්දරින් නැගිට ඌ වෙනුවෙන්ම බතක් උයා, තැම්බූ කරවල ගොඩක් සමග අනා උගේ පිඟානට බෙදුවාය. අප ගෙදරින් පිටත් වන්නටත් පෙර ඌ එයින් දෙකෙන් පංගුවක් කා තිබිණි.
“බළල්ලු ස්වාධීන සත්තු. බල්ලන් වගේ නෙමෙයි. දඩයමක් කරගෙන කාවි,” මම කීවෙමි. එහෙත්, දින ගණනකට පසු අප ගෙදර එන විට පාර් දොර ළඟ ගුලි වී හාමතේ සිටින අයුරු දුටු අප දෙන්නටම මහත් සේ දුක සිතිණි. ගෙනා බනිස් ගෙඩිය ඌට කෑලි කඩා දුන් විට ඌ දඩයමක් කරගත් කොටි දෙනක සේ ගොරව ගොරවා එය කෑවාය.
දැන් පාර් නමැති ෆොරින් බොඩිය හෙවත් බාහිර දේහය අපේ ජීවිතවලම කොටසකි. අපි ඌ ගැන තොරතුරු අපේ යාළුවන් සමග දුරකථනයෙන් ද කතා කළෙමු. එක කාලයක උගේ ප්‍රියතම වාසස්ථානය වී තිබුණේ දුරකථනය තබා තිබුණු බඩු පෙට්ටියයි. දුරකථනය නාද වන විට ඒ ගැන සැලකිලිමත් වන ඌ අප රිසීවරය ඉස්සූ විට දඟර ගැසුණු වයරයට අතින් පහර දෙක තුනක් දෙන්නට පුරුදු වී සිටියාය.
පොලිස්කාරයාගෙන් සිදු වූ අපරාධයෙන් පසු පාර් පාරේ හෝ තාප්පය දිගේ බළලකු යන විට පවා වලිගය පුම්බාගෙන ගෙට දිව ආවාය. ගැටිස්සියක් වී සිටියදීත් ඇය බළලුන් සමග නොගොස් අප අවටම දැවටෙමින් සිටියාය.
අප ඉන්නේ කොහිද, ඌ අප පෙනෙන හරියක නිදාගෙන හෝ මැස්සන් පසුපස දුවමින් සිටියාය. මගේ දුෂ්ට රණ්ඩුවලින් දුකට පත්වන බිරිඳ ඉස්තෝප්පුවේ පුටුව මත හිඳ හඬන රාත්‍රීවලදී ඌ ඇගේ දෙපා අසල ගැවසෙමින් සිටි බව ඌ මළ පුවත අසා හඬන අතර ඇය කීවාය. රාජකාරි උවමනාවකට මා පිටත ගොස් සිටියදී ඇගේ තනියට සිටි පාර්ගේ ඇවතුම් පැවතුම් ගැන අපි දුරකථනයෙන් ද කතා කළෙමු.
ඌ දවසක් මීයෙකු ද ඇල්ලූ බව නොකීවොත් අඩුපාඩුවකි.
මගේ බිරිඳට කලක් යනතුරු දරුවන් ලැබුණේ නැත. පාර්ට ද පැටවුන් නොලැබිණි. ඔය අතවාරරේ බිරිඳ ගැබ් ගත්තාය. මාස තුන හතරකට පසු බිරිඳට ගම්සාවක් සිදු විය. ටික දිනකින් දැල් ජනේලයෙන් රිංගද්දී බඩ හිර වීම නිසා පාර්ට ද පැටවුන් ගබ්සා විය. ලයිට් කපන කාලයේ බිරිඳ රාත්‍රී සේවා මුරයක යෙදෙමින් සිටියදී පාර් මළ පැටවුන් වදනු මම ලන්තෑරුම් එළියෙන් දුටුවෙමි. පළමු මළ පැටවා ඌ කෑ බව මම දන්නෙමි. බිරිඳ අදටත් එය පිළිගන්නේ නැත. දෙවන පැටවා තුරුළු කරගෙන එළිවන තුරු සිටි පාර් මා පැටවුන් වළලා දැමූ පසු අහිමි දරු සම්පත අමතක කර දමා වෙනදා මෙන්ම නැගී සිටියාය. ඌ බිරිඳ මෙන් ඒ පිළිබඳ තැවුණේ නැත. මේ දක්වාම බිරිඳ යළි ගැබ් ගත්තේ නැත. පාර් ද මිය යන තුරුම යළි ගැබ් නොදැරුවාය.
අනුරාධපුරයෙන් මාරු වී එන්නට සිදු වූ විට පාර්ට කරන්නේ කුමක්දැයි අපට ප්‍රශ්නයක් මතු විය. බළලුන් හුරු වන්නේ මිනිසුන්ට නොව තැනට යයි පැවසූ මිතුරෝ කිලෝමීටර් සිය ගණනක් දුර අපේ ගමට ඌ රැගෙන යාම තේරුමක් නැති වැඩකැයි පෙන්වා දුන්හ. එහෙත්, අප නැතුව ඌ තනි වනු දරාගත නොහැකි වූ අපි අපේ බඩු ගෙන ආ ලොරියේම පාර් ද රැගෙන ආවෙමු.
ගෙදර බඩු ලොරියට පටවද්දී, වෙන්නට යන අසුබ දෙයක් ගැන ඉව වැටී ඌ අතුරුදහන් විය. බඩු පටවා අවසන් වී ගෙය හිස් වන විට ඌ ආගිය අතක් නැති විය. සියලු බලාපොරොත්තු අතහැර දැමූ මම පිටත් වීමට පෙර අවසාන වතාවට ‘පාර්’ කියා හඬගාමින් ගෙය වටා ගියෙමි. හදිසියේ මට ඌ රහසින් පිළිතුරු දෙනු ඇසිණි. ඌ වහල මත සිට මඳක් පහළට පැමිණ මා දෙස බලා සිටියා. මම පරිස්සමෙන් ඌ බිමට බා වදෙන් පොරෙන් රෙදි මල්ලක බහාගෙන ලොරියේ ඉදිරිපසින් ගොඩ වුණෙමි. රෙදි මල්ල තුළ සිටීමට අකැමැති වූ පාර් එතුළ පෙරළි කළාය. මම ඌ පිටතට ගෙන උකුල මත තබාගත්තෙමි. රෑ කෑමට අතරමග ලොරිය නතර කළ විට මම කොත්තු රොටියෙන් ඌට මස් කැබැල්ලක් ගෙන ආවෙමි. ඌ එය කෑවේ නැත.
උතුරුමැද පළාතේ අනුරාධපුරයේ සිට බස්නාහිර පළාතේ කලුතර දිස්ත්‍රික්කයට ස්ථාන මාරුවක් ලද පළමු බළලා පාර් වන්නට පුළුවන. අපේ මහ ගෙදරදී ඌ අන්ත අසරණ විය. ගෙට ගෙන ගොස් තැබූ විට ඇය ළඟම තිබුණු කැබිනට්ටුවක් යටට රිංගා ගත්තාය.
අපේ මහ ගෙදර යනු පැටී නමැති තඩි බළල් නාම්බාගේත්, ජිමී නමැති වස කළු බලු තඩියාගේත්, අම්මාගේ හා තාත්තාගේත් වාසභවනයි. පසුව කී දෙදෙනාගෙන් පාර්ට ප්‍රතිවිරෝධයක් එල්ල වූයේ නැත. ඇත්තෙන්ම, එවක් පටන් පාර් බලාකියා ගැනීම සම්පූර්ණයෙන්ම කළේ ඔවුන් දෙදෙනාය. තමන්ගේ බත්පත කෑමට පෙර බළලුන්ගේ බත්පත පැහැරගෙන කෑම ජිමීගේ පුරුද්ද විය. පැටී හැර වෙනත් බළලකුට ගෙදර වත්තේ හතර මායිමෙන් ඇතුළු වීමට ජිමී ඉඩ දුන්නේ ද නැත. පැටී බළලකු නිසා පාර් බැළලිය සතුටින් භාරගනු ඇතැයි අපි සිතුවෙමු. එහෙත්, එසේ වූයේ නැත.
අවංක මෝඩ ප්‍රේමවන්තයකු වූ පැටී තම පෙම පුදා සිටි එහා ගෙදර කහපාට නාටු බැළලිය හැර අන් බැළලියකගේ මුහුණවත් බැලීමට ප්‍රිය නොකළේය. පවට පිං දෙන්නද? ඌ කවදාවත් එච්චර ලස්සන පාර් සමග යාළු වූයේ නැත. අම්මාත්, බිරිඳත් උන් දෙන්නා යාළු කරන්නට දැරූ උත්සාහය අවසන් වූයේ මට ගස් නගින්නට සිදු කරමිනි. ඒ යාළු කිරිල්ල පිළි නොගත් පැටී පාර්ගේ ඇඟට කඩා පැන්නාය. පාර් වලිගය පුම්බාගෙන ගෙයින් පිටතට පැන දිව්වාය. ඒ දුටු ජිමී බුරාගෙන, මල් පෝච්චි පෙරළාගෙන ඌ පසුපස පැන්නුවේය. අම්මා මල් පෝච්චිය පෙරලූ ජීමීට කෝටුව උරුක් කරමින් ‘වරෙන්කො ආපහු’ යි කියමින් බැන වැදුණාය. කලබැගෑනිය නිමා වන විට පාර් පුවක් ගසක මැද කඳ බදාගෙන, චූ බේරි බේරී සිටියාය. මා ඉනිමගක් තබා ඌ බිමට බෑ විට උගේ ඇස් භීතියෙන් මහත් වී ගත වෙව්ලමින් තිබිණි.
රැජිනක සේ රජරට වැජඹුණු පාර් යුද්ධයෙන් පැරදී සතුරන් අතට පත් වූ කලෙක මෙන් බියපත්ව, අසරණව සිටියාය. අපේ සිත් සැනසුණේ ඌ බත් පොඩ්ඩක් කෑ පසුවයි. මුල් කාලයේ පාර් සිටියේ ගේ පිටුපස කුස්සි මඩුවේ බාල්ක හරහට දමා ඇති ලෑලි මතය. බිමට බැස්සේ මළ මුත්‍ර කිරීමට හා කෑමට පමණි. කෑම කෑවේ බල්ලකු හා බළලකුගේ රැවුම් ගෙරවුම් මැද මහළු මිනිසකුගේ හා ගැහැණියකගේ ආරක්ෂාව ලබමිනි. එළියට පහළියට ගියේ ද පුදුම බියකිනි. ඒ වැඩ අහවර වූ සැණින් පාර් සොල්දරය උඩට නැග්ගාය. අපට ඌ ගැන මහත් දුකක් සිතිණි. ඌ මෙහි ගෙන ඒමෙන් අප කළේ වරදකැයි අපි පසුතැවුණෙමු. එහෙත්, රාජකාරි වැඩ නිසා අපට කොළඹ නතර වීමට සිදු විය.
එහෙම අසරණව සිටි පාර් මාස දෙක තුනක් යන විට අපේ මහගෙදර උගේ රජදහන කරගත්තාය. හොඳට කා බී, ඉඳහිට හොරා ද කා බඩ පුරවාගෙන සිටි ඇය පැටී බය කරගෙන ඇගේ ළඟින් හොරෙන් හොරෙන් යන ජිමීට අතින් පහරක් දෙන මට්ටමට ද දියුණු වී සිටියාය.
අඩි සද්ද කරමින් පුටුවල හැපි හැපී එහෙම මෙහෙ දුවන, උඳුපියලි ගාලේ හාවෙකු සේ හැංගී ඉඳ මැස්සන්ටත්, ළඟින් යන එන ඕනෑම අයෙකුගේ කකුල්වලටත් පනින, රෑට එළියට දැමීමට යන බව දැන ගෙය පුරා තැන තැන හැංගෙන පාර්ගේ හුරතල් දැක අපි සතුටු වුණෙමු.
පාර්ට අඩුවකට තිබුණේ පෙම්වතකු නැතිකමයි. මගේ බිරිඳ යළිත් බලා සිටියේ ගැබ් ගන්නා තුරුය. ඒ සමගම පාර් ද යළි ගැබ් ගනු ඇතැයි මම කීවෙමි. අපට දියණියක ලැබීමට පෙර පාර් මවක වනු ඇතැයි අපි කතා කළෙමු.
(ප්‍රජා වෙබ් අඩවියෙන්)
නයනා ගෙදරට ඇතුළු වන විට එය එකම මඩ ගොඩකි. ඇය නිතර මොප් කර පිරිසිදුව තබා ගත් ටයිල් කළ ගෙබිම කෝපි පැහැති කුණු මඩින් වැසි කුඹුරක් වැනි ය. සාලයේ සෝපාවේ කූලිච්චං මඩින් හා දියෙන් බත් වෙලා ය. ප්ලාස්ටික් පුටු, ඡායාරූප, විසිතුරු බඩු පාවී ගොස් තැන තැන වැටිලා ය. බිත්තිය මත කර වටක් උසට කහට පැහැති දිය පැල්ලමකි.
කාමරයේ අල්මාරිය ඇර බැලූ ඇගේ පපුව හෝස් ගා දැවී ගියේ ය. සාරි, ගවුම්, ළමා ඇඳුම් ආදියෙන් තවමත් දිය බේරේ. ඇය අල්මාරි ලාච්චුව ඇර බැලුවා ය. වටිනා ලියකියවිලි සියල්ල තෙමී ඇත. ඒ අතර රත්තරං බඩු උකස් පත්‍රිකා ද ඇති බව සිහි වී ඇගේ අත නිතැතින් ම ගෙලට ගියේ ය.
ඇය ඇඳ මත වාඩි වුණා ය. එසැණින් ම දැනුණ තෙත නිසා වහා නැගිට්ටා ය. ඒ සමග ම ඇඳ පැත්තකට ඇල විණි. බෝඩ්වලින් හදන ලද එය නැවත පාවිච්චි කරන්නට බැරි වනු ඇත. එය දැනටමත් තෙමී, පෙඟී පපඩමක් සේ පිම්බී ඇත. ගෘහ භාණ්ඩ ගන්නට ගත් ණය තවමත් ගෙවා අවසන් වී නැත.
දරුවන්ගේ කාමරය පුරා පොත්පත් විසිරී ඇත. ඒවා මත ද තෙත මඩ තට්ටුවකි. කළු පාට කුණු මඩවල නහය කකාරවන ගඳ නිසා ඇය නහය හකුළුවා ගත්තා ය. කිළිටි වී මඩ තැවරී කාමරය මැද වැටී සිටි දුවගේ බෝනික්කකු දුටු විට නයනාට සිහි වූයේ ෆේස්බුක්හි හුවමාරු වූ දූෂණය කර මරා දමන ලද දැරියකගේ මළ සිරුරයි. ඇයට කඳවුරේ දමා ආ දුව සිහිපත් විය.
කක්කුට්ටකු හරහට අඩි තබමින් පොත් උඩින් දුව ගියේ ය.
“සර්පයොත් ඉන්නවද දන්නෙ නැහැ.” ඇය බියපත්ව පසුපසට පැන්න පාරට කකුල මඩ මත ලිස්සා ගියේ ය. ඇය උළුවස්ස අල්ලාගෙන නො වැටී බේරුණා ය. බිත්තියේ සිටි හංගොල්ලකු මිරිකී ඇගේ අතේ සෙවල තැවරිණි. ඇයට වස පිළිකුලක් දැනිණි. අැය බිත්තියේ ම බොහෝ වර අත පිස දැමුවා ය. වෙනදාට නම් ඇය බිත්තියේ කුණු ගාන්නට එපා යයි පුතාට තරවටු කරන්නී ය.
ඇගේ සැමියා රොන් මඩින් නැහැවුණ යතුරු පැදිය දෙස විස්සෝපයෙන් බලා සිටියි. ඔවුන් නිවසින් පිටව යන විටත් වෙල් යාය මැද පාර කරවටකටත් වඩා යට වී තිබුණි. ඔවුන් රැගෙන ගියේ නාවික හමුදාවේ බෝට්ටුවකිනි. කිසිවක් රැගෙන යන්නට හැකියාවක් නො තිබිණි. ජීවිත කාලය තුළ දිනා ගත් ලොකු ම ජයක් වූ, තමන්ගේ ම පළමු වාහනය ගෙදර ම දමා යන්නට ඔවුන්ට සිදු විය. දැන් ඉතින් බස් පාරට ඇති කිලෝමීටරය පයින් ම බඩ ගාන්නට සිදු වනු ඇත. අල්ලපු ගෙදර නුවන් මල්ලී හයර් කරන ත්‍රිරෝද රියට ද සිදු වී ඇත්තේ මෝටර් සයිකලයට සිදු වූ දෙය ම ය.
ඇය මහන මැෂිමේ පියන ඉවත් කළා ය. වතුර ගොස් ඇතත්, මැෂිමෙහි මඩ තැවරී ඇත්තේ මඳ වශයෙනි. විදුලි මෝටරය විනාශ වන්නට ඇත. අලුත් මෝටරයක මිළ කීයක් වනු ඇද්දැයි ඇයට මොහොතකට සිතිණි. රෙදි කෑලි පෙට්ටිවල මඩ අතරින් ළමා ගවුම් පොඩියක මුද්‍රිත රූපයක් පැහැදිලිව පෙනිණි. කාටුන් චරිතයක් බිලී බාන්නට යන දර්ශනයක් එහි තිබිණි.
ඇයට කුස්සියට යන්නට නො සිතිණි. කුස්සිය පිහිටා ඇත්තේ පඩියක් පහළිනි. එය දුටු විට ඇයට ක්ලාන්තය හැදෙනු ඇතැයි ඇය බිය වූවා ය.
සැමියා නාන කාමරයට හිස පොවා බලනු දුටු ඇය ඔහුගේ උරහිස මතින් එබී බැලුවා ය. කොමඩ් එකේ තවමත් වතුර පිරිලා ය.
“දෙයියනේ, මුළු ජීවිතයක ම දේවල් වතුරෙ. අපි කොහොමද ආයෙත් ඔලුව උස්සන්නෙ? ” ඇයට කියැවිණි.
ආර්තවය සිදු වන්නට ළඟ බව අද උදේ සිට ඇගේ සිරුරට දැනේ. සනීපාරක්ෂක තුවා, යට ඇඳුම්, ගවුම්, සාරි, තුවා, ඇඳ ඇතිරිලි, කොට්ට, දරුවන්ගේ ඇඳුම්, සැමියාගේ කමිස කලිසම්, වළං, මුට්ටි, පිළිවෙලට අසුරන ලද තුනපහ, මිරිස් ආදිය දැමූ බෝතල්, තව බොහෝ දේවල් ඇගේ මනස හරහා ඇඳී සියල්ල මතින් මඩ තට්ටු තට්ටු ඇදී වැසී ගියේ ය.
“අපට මේක කරන්න බැහැ. මට නම් මෙතන ඉන්නත් බයයි. අපි යමු,” ඇය කීවා ය. අවට මුළු පරිසරය ම පාළු, දොම්නස්, ගුප්ත, මූසලකමකින් පිරී ඇත. අහස ද කළු වළාවලින් බර වෙමින් තිබේ. නැවත මහ වැසි වහිනු ඇත. නිහඬ, දොම්නස් පාළුව විනිවිදිමින් පළඟැටියකු තටු මදින හඬ ඇසිණි.
“ඔයා යන්න.” චන්දන, ඇගේ සැමියා කීවේ නොරුස්නා හඬකිනි.
ඇත්තෙන් ම ඇය යා යුතු ය. 12 හැවිරිදි දියණියත්, අටහැවිරිදි පුතුත් තබා ආවේ අසල්වැසි කාන්තාවකගේ භාරයේ ය. සැමියාගේත්, ඇගේත් ගමට යන්නටවත් ඔවුන් ළඟ හරිහමන් ඇඳුමක් නැති බව ඇයට සිහි විය. එහෙත්, එහෙම යන්නට බැරි තරමට ඔවුන්ගේ ජීවිතය කොළඹට ගැට ගැසී ඇත. සැමියාගේ රැකියාව. ඇගේ මැහුම් ව්‍යාපාරය. ළමයින්ගේ පාසල් ආදී සියල්ල ඇත්තේ කුණු ගඳ ගසන, කාණු උතුරන, වාහන තදබද වී හති අරින, හුස්ම ගන්නට බැරි තරම් උණුසුම් මේ කර්කශ කොළඹ රටේ ය.
දියණියට වැසිකිළි බරක්වත් හැදුණොත්. ඇය තනිව අනාථ කඳවුරේ ඇති වැසිකිළියට යන්නට අකැමැති ය. හාත්පස අසූචි, මුත්‍රා, කෙළ, බීඩි-සිගරට් කොට විසිරුණු පාසල් වැසිකිළියට යන්නට අකැමැත්ත නිසා දියණිය පමණක් නො ව, ඇය ද වැසිකිළි යන්නේ තව දුරටත් ඉවසා ඉන්නට බැරි වූ විට පමණි.
“ආ නංගි, දැන් ඉතින් අපිත් මෙහෙ. ඔයාලත් මෙහෙ, නේ ද?”යි දුව පංති යන එන වෙලාවට පාරේ කැරකෙන වෙල අද්දර පොඩි ගෙදරක රස්තියාදුකාර කොල්ලෙක් දිනක් ඇයට ඇසෙන්නට කියා තිබිණි. ඇගේ ආරක්ෂාව ගැන නයනාට බය හිතිණි.
පුතාට හෙම්බිරිස්සාව ය. නහය පිසදමන්නට ලේන්සුවක්වත් නැත. වතුරේ බැස දුව පැන ඇවිදීම නිසා ඔහුගේ කකුල් කසයි.
දරුවන් භාර දී ආ අසල්වැසි කාන්තාව ද රෝගී ය. දියවැඩියාවට හා අධි රුධිර පීඩනයට ප්‍රතිකාර ගන්නා ඇගේ සියලු රෝග විනිශ්චය ලේඛන වතුරේ ගොසිනි.
අනාථ කඳවුර වී ඇත්තේ පුතාගේ ප්‍රාථමික පාසලයි. පංතිවල තිබූ දරුවන්ගේ උපකරණ, පොත්පත්, නිර්මාන ආදිය මුළුවල ගොඩගසා විනාශ වී තිබේ. මේ පිරිස අනාථ කඳවුරෙන් පිට වන තුරු දරුවන්ට පාසල් නැත. පුතා නම් මේ අලුත් අත්දැකීමෙන් සතුටු වන අවස්ථා ඇත.
එහෙත්, කහ පාට අඳුරු දොම්නස් විදුලි බල්බ රැය පුරා දැල්වෙන, මැසි මදුරුවන් පිරි, මිනිසුන් මුණු මුණු ගාන, කහින, කාරන, බීමත් අය නන් දොඩවන, යකඩ කකුල් ඇති පාසල් ඩෙස් බංකු බිම ඇතිල්ලෙන, ඒවා ඇතිල්ලීමෙන් ම ගෙවී, පළුදු වුණු අසම පොළව මත පන්සලෙන් දුන් කිළිටි පැදුරු මත නිදාගන්නට වැතිරුණු විට “අම්මෙ අපි කවදද ගෙදර යන්නෙ?” යි පුතා අසයි.
චන්දන ඉන්නේ කෝපයෙනි. අනාථ කඳවුරට ගෙනැවිත් බෙදා දෙන බඩු අරගන්නට ඔහු පෝලිමේ යන්නේ මහත් අකැමැත්තෙනි. කෑම, බීම හැර වෙනත් දේ වෙනුවෙන් ඔහු පෝලිමේ යන්නේ නැත.
“අපි හිඟන්නො නෙමෙයි. අපට ඕව වැඩක් නැහැ,” ඔහු තරහෙන් කියයි.
අනාථාධාර බෙදන පිරිසක් පැමිණියහොත් අසල්වැසි කාන්තාව දරු දෙදෙනා ද අමතක කර පෝලිමේ රණ්ඩු වන්නට යනු ඇත. ඇඟ පත හයිය හත්තිය ඇති පිරිමි ඇවිත් දෙන දේ උදුරාගෙන මෙන් රැගෙන යති. ඔවුන් ඇතැමෙක් ගංවතුරට හසු වූ අය ද නො වන බව අසල්වැසි නැන්දා කියයි. ගම් ගණනාවක මිනිසුන් ජීවත් වන කඳවුර අවුල් ජාලයකි. ග්‍රාමසේවක නෝනාට ඒ අවුල ලිහන්නට අමාරු ය. නැන්දා ඉන්න තැන වටේට ම බඩු ය. එහි නැත්තේ මොනවාදැයි තිලිණි කල්පනා කරයි. කිරිපිටි, පරිප්පු, සැමන්, සීනි, තේ කොළ, ඇඳුම්, කොපි පොත්, පෑන්, පැන්සල්, පැස්ටල්, සෙල්ලම් බඩු, අරවා මේවා හැම දෙයක් ම ඒ සිලි මළු තුළ ඇත.. ඇය යටට අඳින්නේ සායකි. එහෙත්, කාන්තා කටයුතු අමාත්‍යාංශයෙන් ගෙනැවිත් දුන් පෑන්ටි කීපයක් ද ඇය ඉල්ලා ගත්තා ය.
“දූට දෙන්න පුළුවන්.”
දැන් ඇය සනීපාරක්ෂක තුවා පාවිච්චි කරන වයස ඉක්මවා ඇත. ඒවාත් ගන්නට ඇත්තේ දුවට දෙන්නට විය හැකි ය. එහෙත්, දුව කඳවුරට පැමිණ ඇය බලා, පොදියකුත් බැඳගෙන ගියා මිස ඇය කැටුව ගියේ නැත.
අසල ගෙදරක තිලිණි නංගී දැන් පස් මස් ගැබිණියකි. ගැබිණි කාන්තාවන්ට රෝහල්ගත වන්නට යයි උපදෙස් දී ඇත. එහෙත්, එවිට ඇගේ අනෙක් දරු දෙදෙනා බලා ගන්නට වන්නේ සැමියාට ය. එතකොට ගංවතුරට හසු වූ ගෙදර පිරිසිදු කරන්නේ කවුරු ද?
“බිම නිදා ගන්න, වාඩි වෙන්න, නැගිටින්න ගියාම එපා වෙනව අක්කෙ,” තිලිණි කීවා ය.
කඳවුරේ ඇඳුමක් මාරු කර ගන්නටවත් පෞද්ගලිකත්වයක් නැත. කාමුක පිරිමි ඇස් හැමපැත්තෙන් ම විදුලි බුබුළු සේ දැල්වෙයි.
කොහොම වුණත් ඒ දැන් ඔවුන්ගේ ගෙදර ය.
“අපි යමු,” නයනා සැමියාගේ අතින් ඇල්ලුවා ය.
“තමුසෙ යනවා, මට බැහැ,” ඔහු අත ගසා දැමුවේ ය. දැන් ඔහුගේ හොස්ස අගින් මැස්සා යන්නට බැරි ය. කඳවුරේ පිරිමියකු හිටි හැටියේ ඩෙස් පුටු පෙරළාගෙන පැන සිය බිරිඳට පහර දෙනු ඇය ඊයේ දුටුවා ය. අනෙක් අය ඔහු ඇද පැත්තකට කළ හ. කලබැගෑනිය නිසා එහි පැමිණි පොලිස් නිලධාරි මහතා සපත්තුත් දමාගෙන නයනලාගේ පැදුර මතින් ගියේ ය. ඒ සපත්තුවලින් මොන මොනවා පාගා තිබෙන්නට ඇද්ද?
කඳවුරට ගියාත් හරි නෑවේ නැත. පාසලේ අලුතින් සවි කරන ලද ටැප් අසල ඉඳුල් හා චිරි චිරි ගා ඇඟිලි මතින් මිරිකෙන මඩ ය. නයනාගේ හිස කසයි. ඇය කෙස් අතරින් ඇඟිලි යැව්වා ය. එහි තෙල් ය. කකුල් ද කසයි.
“දුව ගැන බයයි. අපි යමු. ගේ අස් කරන්න උදව් කරන්න ය කියලා අර උදව් කරන්න එන මල්ලිලාට කියමු.”
දුව ගැන කියූ විට චන්දනගේ හිත වෙනස් වනු නයනාට දැනිණි.
මේ කතාවේ මාතෘකාවට දාලා තියෙන වදන් ටික මගෙ හිතට ආවෙ නෑබඩ සිල්වතා හින්දා. උන්දැ මගේ ලෝකෙ ඉතිරි වුණේ මං කලින් බැඳල හිටපු ඉන්දිකා හින්දා.
මේ පද ටික දාලා කවියක් හරි සිංදුවක් හරි ලියන්න දැන් වුණත් පුළුවන්. ආගම් විරෝධීන්, ලිබරල්වාදීන්, වාමාංශිකයන්, දෙමළ ජාතිකවාදීන්, ඉස්ලාම් අන්තවාදීන් ඒකෙන් සතුටු වේවි. සිංහල කට්ටිය අතරෙ කොහොමත් අපට ජනප්‍රිය වෙන්න බැහැනෙ. අයිසීසීපීආර් එක යටතෙ පැමිණිලි කළොත් ලෙඩක් හැබැයි. ඇප ගන්න බැරුව ගොඩක් කල් රිමාන්ඩ් ඉන්න වෙනවා. ඒ නිසා තමයි මං ඉතුරු පද ටික සම්පූර්ණ කරලා ඒක ෆේස්බුක් දැම්මෙ නැත්තෙ.
“මට ඔය කවි ලියන වේසිගෙ පුතාලයි, කවියි දෙකම පෙන්නන්න බැහැ,” ඉන්දිකා ඉස්සර කියනවා. “කවි ලියන අනෙක් එවුනුත් තමුසෙ වගේ ඇති.”
ඉන්දිකා මාව බැන්දෙ කලාව නිසා. මං ඉන්දිකාව බැන්දෙ සල්ලි නිසා. ඒ කාලෙ මට යන එන මං නැතුව හිටියෙ. දැන්නම් දෙයියනේ කියලා මට ඉන්දිකාගෙ සල්ලි ඕනැම නැහැ. ඉන්දිකා ඕනැත් නැහැ.
මට ඉන්දිකාගෙන් කිසිම සතුටක් නැහැ. එයා ලස්සනයි. ටිකක් මහතයි. පයෝධර එහෙම ගොඩක් ලොකුයි. එච්චර ලොකු ඒවට මං ආස නැහැ. එයා සුදුයි. මේකප් කරලා, ලස්සනට ඇඳලා පාරට බහිනකොට හතළිහ පැනල තියෙද්දිත් කොල්ලන් එයා දිහා බලනවා. ඒ වුණාට ඒ වෙනකොට මට එයා ගැන ආසාවක් තිබුණෙ නැහැ.
සුමුදු එහෙම නෙමෙයි. එයා බැලූ බැල්මට ගොඩක් ලස්සන නැහැ. ඒත් ආකර්ශනීයයි. ඒ ආකර්ශනය තියෙන්නෙ සුමුදුගේ සමස්තයේ. ඒකට රූපය, සුවඳ, ඉරියව්, හිනාව, බලන විදිය, ගමන බිමන, කතාබහ, ආදරය කරන විදිය, ලිංගික සැප ආදී ඔක්කොම අයිතියි. සුමුදු නලමුදු සුවඳක් වගේ කියලා කවියක් ලියන්න මං හිතාගෙන ඉන්නවා. ඒත් ලියවුණේ නැහැ. සුමුදු දැන් මගේ නිසා ඉතින් කවියෙන් වර්ණනා කරන්නත් දෙයක් නැහැ වගේ. අපි ෆේස්බුක් එකෙන් හමුවුණ මුල් දවස්වල ඔය වගේ කල්පනාවක් ආව නම්, මං ඉතින් රස්සාවටත් නොගිහින් තමයි කවි ලියන්නෙ. සුමුදුට ලියපු කවිය එහෙනම් මං බූස්ට් කරනවා. ලයික් ටෙන් කේයි, ෂෙයාස් වන් කේයි වෙන්න.
මට සුමුදු නැතුව බැහැ. ඒ නිසා තමයි ඉන්දිකා ඇතුව බැරිවුණේ. කා එක්ක වුණත් එකට ඉන්න බැරි නම්, අපි වෙන්වෙන්න ඕනැ. මේ නඩු මෙච්චර කල් ඇදගන්නෙ නැතුව විසඳගන්න තිබුණා. ඒ දවස්වල කිව්වෙ නම් කොහොමද? ඔයාට මාව එපා නම් එක දවසක්වත් මා එක්ක ඉන්න ඕනැ නැහැ බබා. මට වැදගත් ආදරේ මිසක් කසාද සහතිකේ නෙමෙයි අරව මේවා. ඒ කාලෙ එයත් කවි ලියන්න උත්සාහ කරමින් හිටියෙ. මං ඒවා සෑහෙන්න අගය කළා. හැබැයි, පෞද්ගලිකව නම් මං හිතන්නෙ ඒව හරියට අර ත්‍රීවීල්වල පිටිපස්සෙ ලියල තියෙන පාඨ වගේ කියලායි. ආලය බීඩියකි; එය උරන්නා මෝඩයෙකි.
මට නෑබඩ සිල්වතාව මුණගැසුණෙ සුමල් රෝහිතගෙ ගෙදරදි. එදා එහෙ ගිහි පිරිතක්. නෑබඩ සිල්වතා තමයි පිරිත් කණ්ඩායමේ නායකයා. සුමල් රෝහිත පිරිතක් කිව්වෙ ඉඩං නඩුවක් අහවර කරගෙන ගෙයක් හදපු ප්‍රීතිය සමරන්න. සුමල්ගෙ තාත්තගෙ ඉඩමට බාප්පා එක්ක නඩුවක් තිබුණා. පස්සෙ බාප්පා ඇක්සිඩන්ට් එකක් වෙලා මළා. හිට් ඇන් රන්. හැන්දෑවෙ කඩේට ගිහින් සිගරැට් අරන් එනකොටයි හැපුණේ. හප්පපු කාරෙක පැනල යන සීසීටීවී දර්ශන දෙරණෙත් පෙන්නුවා. ඒ වුණාට අහුවුණේ නැහැ.
සුමල්ගෙ දුකට, සැපට ඕනැ එකකට මං තමයි. මටත් සුමල් තමයි. අපි අද ආර්ථිකව මෙහෙම ඉන්නෙ සුමල්ව මට හඳුන්වාදුන්න චමල් නිසා. චමල් දැන් හිරේ. අපි දැනුත් ඌ ගැන බලනවා. විසිට් නම් යන්නෙ නැහැ. ඌ එනකල් උගෙ අම්මව නඩත්තු කරන්නෙ අපි. ඒව යුතුකම්. අපි දැන් බිස්නස්වලින් දියුණු වෙලා තිබෙන තරම අනුව චමල් ආපු කාලෙක මොනව හරි පිළිවෙලක් කරලා දෙනවා. ඌට කෙළවුණාට අපට එහෙම වුණේ නැහැනෙ. ඒක අවාසනාව.
හැබැයි, චමල් වුණත් ගානට ඉන්න දැනගන්න ඕනැ. නැතිනම් ඇක්සිඩන්ට් වෙන්න වුණත් පුළුවන්.
පිරිත් කණ්ඩායම ආටානාටිය කියනවා. කණ්ඩායමේ නායකයා හොඳට උච්චාරණය කරලා සද්දෙට සජ්ජායනා කරනවා. අපි දෙන්නා ආයෙමත් වෙනම සෙට්වුණා සුමල් රෝහිතගෙ කාමරේ. අපේ පවුල් ප්‍රශ්න කතාකරන අතරෙ තමයි මට හිතුනෙ ඉන්දිකා ඇක්සිඩන්ට් වුණා නම් මායි සුමුදුයි ගොඩ නේද කියලා.
“එච්චරම තිත්තද?” සුමල් රෝහිත ඇහුවා. මං ඌට එක නමක් වෙනුවට නම් දෙකම කියන්න යොමුවුණේ ඇයි? ඌට අනෙක් අයත් එහෙම තමයි කියන්නෙ. මෙච්චර සමීප මං වුනත් සුමලා හරි සුම්මා හරි කියන්නෙ නැතුව සුමල් රෝහිත කියලාම කියනවා. ජීවිතේ හරි පුදුමයි නේද?
“මචං, මං උඹ වෙනුවෙන් ඕනැ දෙයක් කරනවා. හැබැයි, මට දැනගන්න ඕනැ උඹ එක හිතින්ද කියන්නෙ කියලා. එකට බුදියගත්ත ගෑනිනෙ.”
එකට බුදියගත්ත හැටි අපිනෙ දන්නෙ. මට නම්, ඒ සරීර කූඩුව කුණපයක් වගේ ඒ වෙනකොට. මස් පර්වතේ දැකල තිබුණෙත් නැහැ ගොඩක් කාලෙකින්. ඉස්සර වුණත් එයාට දවස් කීයද මොකක් හරි ලෙඩක් නොතිබුණෙ? හාවා හඳ දැකපු ඒ වගේ රෑවල වුණත් එයා වහලේ උළු ගැන්නා. උළු නොපෙනෙන අලුත් ගෙදර සුදු සීලිම වගේ එයා හිස්ම හිස්. හැබැයි ඉතින් කට අවුස්සගත්තොත් නම් ඉතින් සීලිමත් ගලවගෙන උළුත් උඩ යයි.
“මං තමුසෙට දික්කසාදෙ ගන්න ඉඩ තියන්නෙ නැහැ.”
“ඒකෙන් තමුසෙට වැඩකුත් නැහැ. මට වැඩකුත් නැහැ.”
“මට කොහොමත් වැඩක් නැහැ.”
“මට වැඩකුත් නැහැ. අඩුගානෙ දරුවෙක්වත් දෙන්න තමුසෙට පුළුවන් වුණාද?” මං ඒක කියලා හිතෙන් ‘වඳ වේසි’ කිව්වා.
ටික වෙලාවක් නිහැඬියාව. ඉන්පසු ඇඬියාව. මළ අඳෝනාව.
“තමුසෙ හිතන් ඇති මාව අතෑරලා අර සක්කරවට්ටම බැඳගෙන තරාදි පඩි සෙට්ටෙක වගේ ළමයි හදන්න.”
“මට බැරි නැහැ ඕයි.”
“ඒ වුණාට තමුසෙට ඒක කරන්න ලැබෙන්නෙ නැහැ. තමුසෙට වන්දි ගෙවන්න සල්ලි තිබුණට මගෙ ජීවිතෙන් අරගත්ත දේවල් කාටවත් මිල කරන්න බැහැ.”
පාන්දර දෙකට විතර නෑබඩ සිල්වතා සන්සුන් ගමනින් කාමරේට ආවා. එයාගෙ ගෝලයන් පිරිත් කිව්වා. සුමල් රෝහිතගෙ ඇඳේ හාන්සි වෙලා හිටපු මං ගෞරවේට නැගිට්ටා.
නෑබඩ සිල්වතා කතා නැතුව කට කපලා බ්‍රැන්ඩි වීදුරු දෙකක් ෂැන්ඩි නැතුවම දාගත්තා. එක නිමේෂයකටවත් මුහුණෙ මාංශ පේශි තිත්ත නිසා ඇඹරුණේ නැහැ. බයිට් එකට තිබුණ ගෝනමස් දිහා නෑබඩ සිල්වතා ඇස් ඇරලාවත් බැලුවෙ නැහැ.
“මං මස්, මාළු කන්නෙ නැහැ. එළවළු විතරයි දැන් අවුරුදු දහයක විතර ඉඳන්.”
“චිප්ස් ටිකක් දෙන්නද?” සුමල් රෝහිත ඇහුවා.
“එපා. සිගරැට්ටෙකක් බොමු.”
“පාසක මහත්තයව මට හම්බුණේ හිරේදි,” සුමල් රෝහිතත් සිගරැට්ටෙකක් පත්තු කරගෙන පෙට්ටිය මා දිහාවට විසි කළා. මට පොඩි ඔලුවෙ කැක්කුමක් වගේ එකක් තිබුණා. මං සිගරැට් පෙට්ටිය එහෙමම ඇඳ උඩට වැටෙන්නට ඇරියා. කමිසෙ ගලවන්න තිබුණ නම් හොඳයි කියලා හිතුණත් සිල්වත් තැන ඉදිරියෙ එහෙම කරන එක හොඳ නැතිය කියල හිතුණ නිසා ඒසී එකේ රිමෝට් එක අරගෙන සෙල්සියස් 16ට උෂ්ණත්වය අඩු කළා.
“මට පීනසේ තියෙනවා,” නෑබඩ සිල්වතා කිව්වා. “මහත්තයලා ඉන්න. මං ඉක්මණින් යන්නං.”
නිහැඬියාවක්. නෑබඩ සිල්වතා පුටුවෙ සන්සුන් ඉරියව්වෙන් වාඩිවෙලා බිම බලාගෙන දුම් උරමින් පිරිත් ඇහුවා. මූණෙ තිබුණෙ පුදුම ශාන්තකමක්. ස්ථාවර හිනාවක් දෙතොලෙ රැඳිලා තිබුණා. ඒක හරිම සන්සුන් හිනාවක්. කළුයි සුදුයි කෙස් සමෝසමේට පැතිරුණු කොණ්ඩෙ හොඳටම කොටට කපලා. රැවුලත් අද හවස පිරිතට එන්න කලින් වගේ සම්පූර්ණයෙන්ම බාලා. තොල උඩ හීනියට දාඩිය වගේ තෙතක් දිලිසුණා. ඒක අතීත දුක් කම්කටොලුවල සීරුම් කැළැල් මැකී යමින්, එළිය වැටෙමින් තිබෙන මුහුණක්. බිම බලාගෙන ඉන්නකොට හරියට යූටියුබර් ඩිනෝ කොරයා නාකි වෙලා වගේ. වැදගත්කම බේරෙනවා.
“වැඩක් තියෙනවා,” සුමල් රෝහිත කිව්වා. “මේ මහත්තයා මගේ බොක්කක්.”
නෑබඩ සිල්වතා බිම බලාගෙන හිස දෙපසට වැනුවා. සිගරැට්ටුව ෆිල්ටරේ ළඟටම උරා අවසන් කරලා ඈෂ් ට්‍රේ එකට එබුවා.
“මං නෝට් කරගත්තා හිතේ. වෙන දවසක කතාකරමු. මේ හොඳ දවසෙ මහත්තයලාත් එන්න පිරිත් අහන්න. දැන් එළිවෙන්න කිට්ටුයි,” කියූ නෑබඩ සිල්වතා නැගිටලා එළියට ගියා.
“ඔයා මොනවද පොතකුත් පපුව උඩ තියොගෙන කල්පනා කරන්නෙ?” සුමුදු ලයිට් නිවලා ඇවිත් ඇඳේ වාඩිවෙලා පනාවකින් හිස පීරුවා. සුදුපාට තිර රෙදිවලින් පෙරිලා ගාඩන් එකේ ඉඳන් ආපු එළියෙන් ඇගේ සිරුරේ හැඩතල ලස්සනට මතුවෙලා පෙනුණා. මට ඒ තැන් දෙතොලින් ස්පර්ශ කරන්න හිතුණා. තව ටිකකින් පුළුවන් වෙයි.
මං හේත්තු වෙලා හිටපු ඇඳ විට්ටම දිගේ කොට්ටෙත් රූටාගෙන පහළට ඇදී ඇවිත් හාන්සි වුණා. වහල දිහා බලනකොට මට ආයෙමත් ඉන්දිකා මතක් වුණා. එයා හිස් බැල්මෙන් අඩ අඳුරේ මේ සුදු සීලිමේ හැම විස්තරයක්ම කියවන්න ඇති, හරියට චිත්‍රයක් නරඹනවා වගේ. මට සුසුමක් පිටවුණා.
“ඇයි වස්තුවේ මේ?” සුමුදු මා ළඟින් වැතිරිලා මූණ දිහා බලාගෙන ඇහුවා.
“මොකුත් නැහැ.” මං කිව්වා.
“එහෙම වෙන්නෙ කොහොමද? මොනවහරි තියෙනවා.”
“මට මං කියවපු පොතක කෙටි කතාවක් මතක් වුණා.”
“මට ඒකෙ කතාව කියන්න.” සුමුදු කවදාවත් පොත් කියවන්නෙ නැහැ. අපි හමුවුණේ පොත් දොරට වැඩුමකදි නෙමෙයි.
“මට කතාව හරියට මතක නැහැ. නම නම් මතකයි.”
“මොකක්ද?”
“හඳ සාක්කි කීම. මං හිතන්නෙ මාටින් වික්‍රමසිංහද කොහෙද ලිව්වෙ.”
“පොත් ගුල්ලා.” සුමුදු මගෙ පපුව උඩ තිබුණු මං අලුතෙන් ලියා පළ කළ කවිපොත බෙඩ්සයිඩ් ටේබල් එක උඩින් තියලා මගේ පපුවේ රෝම අතරින් ඇගේ සිහින් දිගු ඇඟිලිතුඩු යැව්වා. ඒ සිනිඳුකම මගේ පපුව තුළටම කිඳාබැස්සා.
මට නෑබඩ සිල්වතාව අවසන් වරට හමුවුණේ එයාගෙ උපදේශන කාර්යාලයේදියි. ඒ දවස්වල නෑබඩ සිල්වතා පදනම් ආයතනයේ උපදේශන ඩිප්ලෝමාවකුත් හදාරමිනුයි හිටියෙ.
ඒක ඔහුගේ නිවසේ ඉදිරිපස කාමරය. ඒක ඉඩකඩ තිබෙන කුටියක්. ඔහුගේ ලියන මේසයත්, නිල්පාට සුවපහසු කැරකෙන පුටුවත්, අමුත්තන් වාඩිවෙන පුටු දෙකත්, තවත් සෝපාවකුත් හැර මුළු කාමරයටම තිබුණෙ බිත්තියේ එල්ලා තිබුණු කඳුකර පසුබිමක ලස්සන විලක දියසායම් චිත්‍රයක් විතරයි. සම්පූර්ණයෙන්ම වගේ හිස් මේසෙ උඩ පරණ තාලෙ කාර්යාල සීනුව ළඟ පීරිසියක අලුත් ඇට්ටේරියා මල් අහුරක් සුවඳ හමමින් තිබුණා. සුදුපාට තිර රෙදි අතරින් උදෑසන හිරු එළිය ගලා ආවා. කුරුල්ලන්වත් කෑගැහුවෙ නැහැ. ඒක පුදුම නිස්කලංක තැනක්.
“පවුල් ආරාවුල් විසඳාගන්නට එක එක ක්‍රම තියෙනවා. සමහර ඒවා අඩු වියදම්. සමහර ඒවාට මිල ගොඩක් ඉහළයි. මං උපදේශනය කරන්නෙ නොමිලෙ. ඒක මගේ සමාජ සේවය. මහත්තයා මට හිතේ තියෙන ඔක්කොම කරදර කියන්න. අපි සරල විසඳුමක් හොයමු. ඒව හරියන්නෙ නැතිනම්, මහත්තයට ගොඩක් වියදම් කරන්න වේවි. මං ප්‍රාර්ථනා කරනවා අපට එච්චර දුර යන්න ඕනැ වෙන එකක් නැහැ කියලා. ඒත්, යන්නම වෙනවා කියලා මහත්තයා මට ඒත්තුගැන්නුවොත්, අපට වැඩි වියදම් විසඳුමකට යන්න වේවි. තීරණය මහත්තයා අතේ. මං කතාකරන්නෙ එච්චරයි. දැන් මහත්තයා කතාකරන්න. මං අහගෙන ඉන්නම්”
“මට වතුර වීදුරුවක් දෙන්න පුළුවන්ද?” මං ඇහුවා.
“සුළු දෙයක්.” ඔහු මේසය මත තිබුණු සීනුව නාද කළා.
ඔහුට මහා බියක් දැනෙමින් තිබිණි. භයානක, මාරාන්තික බියක්! මේ බියට කිසිදු හේතුවක් නොතිබුණු අතර එය නිර්වචනය කිරීමටද ඔහුට පුළුවන්කමක් නොතිබුණේය. අපැහැදිලි නොහඳුනන බියක් විය, එය. මෙය කවදා සිට ඇතිවූවක්ද යන්න ගැන පවා ඔහුට දැනුමක් නොතිබුණේය. මෙයට කිසියම් හේතුවක් තිබිණිද යන්න ඔහු දැන නොසිටියේය.
වරක් බොහෝ කාලයකට පෙර මිනිසුන් කිහිප දෙනකු විසින්ම මුගුරුවලින් බැල්ලියකට පහර දෙනු ලැබූ ආකාරය ඔහු දුටුවේය. උගේ පැටියා කුණු ගොඩකට මුවා වී කීං කීං ගාමින් හඬ තළමින් සිටියේය. මුගුරු රැගෙන යන මිනිසුන් දුටු විට ඔහු ඉදිරියේ මැවී පෙනෙන්නේ ඒ දර්ශන!,,@යයි. එහෙත් ඔහුට ඒ ගැන ‘බියක්’ ඇති වූයේ නැත. පහර දුන් අය කීවේ බැල්ලියට ‘පිස්සුව’ සෑදී ඇති බවයි. මියයන්නට පෙර බැල්ලිය එක් වරක් හිස ඔසවා හඬ තළමින් සිටි තම පැටියා දෙස බැලුවාය. මිනිස්සු බැල්ලියට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළෝය.
බල්ලකු සපා කෑ විට සිදු වන්නේ කුමක් දැයි ඔහු දැන සිටියේය. වතුර දුටු විට ‘බිය’ ඇති වන අතර විශේෂ එන්නත් රාශියක් දෙනු ලබයි. එහෙත්, ඔහුට එවැනි කිසිදු දෙයක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් නොවීය. මක් නිසාද බැල්ලිය ඔහු සපා කෑවේ නැති බව ඔහු දැන සිටි නිසාය. ඒ නිසාම ඔහු වෛද්‍යවරයකු හමුවීමටද නොගියේය. ඒ සමඟම, ඔහුට බියක් ඇති වූයේ වෛද්‍යවරයා ඔහු විහිළුවට ලක් කරනු ඇතැයි සිතුණු බැවිනි.
මෙය පෙරදී ද කිහිප වාරයක් සිදු වූයේය. මරණය පිළිබඳ ‘භය’ ඔහු පෙළමින් සිටියේය. ඔහුට කිසියම් භයානක රෝගයක් සෑදුණේය. ක්ෂය රෝගය, පිටගැස්ම, පිළිකා, හෘදයාබාධ! ඔහු දිවා රෑ – හැම මොහොතකම මියයමින් සිටියේය.
“ඔහේ මේ ලෙඩවලට නෙමෙයි, තමන්ගෙ මොළේට බේත් ටිකක් කර ගත්තොත් හොඳයි”. වෛද්‍යවරයා වේදනා රහිතව සිනහවක් පාමින් කීවේය.
එහතේ ඔහු ‘මොළයේ අසනීපයට’ ප්‍රතිකාර ගැනීමටද නොගියේය. මක් නිසාද යත්, ඔහුගේ මොළය තුළ බලවත් වූ ‘සුනඛභාවයක්’ පිරී – ඉතිරී ගොස් ඇති බව ඔහුට දැනුණේය. ඔහු අතිශයින් අහිංසක මනුෂ්‍යයකු වූයේ, කිසිවකුට එරෙහිව සිය විරෝධය පළ කිරීමටවත් සමතෙක් නොවීය. කිසියම් තැනකදී දුර්වලයකු වුවද තවත් තැනකදී හෙතෙම ‘වැදගත් මිනිසෙක්’ වූයේය. වැදගත් මිනිසකු වීමට නොහැකි වූ තැනකදී හෙතෙම ‘දුර්වලයෙක්’ වූයේය.
මේ අවස්ථා දෙකෙහිදීම ඔහු, මුගුරුවලින් පහර දෙන මිනිසුන් ඉදිරියේ කුණුගොඩකට මුවා වී මර හඬ තළන ඒ ‘බලු පැටවා’ සේම අසරණයෙක් වූයේය.
මේ උපමාව ඔහුගේ සිතට නැඟුණේ මුගුරක් රැගෙන යමින් සිටි මිනිසකු දැකීමෙනි. ඒ මිනිසාගේ බඳ පටියේ කෙළවර බල්ලකුගේ වලිගයක් සේ පිටුපසින් වැනෙමින් තිබුණු අතර, නොදැනුවත්වම පසුපස හැරී බලන්නට උත්සාහ ගත්තේ, ඔහුටත් ‘බලු වලිගයක්’ තිබේ දැයි බලන්නට මෙනි. නැත. ඔහුට කිසිදු ආකාරයක ‘වලිගයක්’ තිබුණේ නැත.
එහෙත්, මුළු රාත්‍රිය පුරාම ඔහු ඉදිරියේ බල්ලන් විශාල සංඛ්‍යාවක් ‘වලිග’ වනමින්’ සිටිනු දක්නට ලැබිණි. කලබලයට පත් වන ඔහු වහා ඇස් අරින්නේ, බල්ලන් විසින් ලුහුබඳිනු ලැබීමෙන් ඔහුට ගැලවීමට හැකි වූයේ නැත. ඇස් අරින විටම ඔහුගේ මතකය කීරි ගැහී යන්නේය. ඇස් පියවෙන විටම බල්ලන් රාශියක් ඔහු ඉදිරියේ විද්‍යමාන වන්නේය. රාත්‍රි නිහඬතාව තුළ පාරේ හිඳිනා බල්ලකුගේ බිරුම් හඬ ඇසෙත්ම, එක්වරම ඔහුට බියක් ඇති වූයේ ඒ බල්ලන් සමඟ තමාද ‘බුරන්නට’ පටන් ගනීවි යැයි සිතුණු බැවිනි.
‘මේක මහ මෝඩකමක්’ ඔහු තමාටම තේරුම් කර දුන්නේය. ඔහුට වතුර බීමේ හැකියාව තිබිණි. එමෙන්ම, ඔහු හොඳින්ම දැන සිටි කාරණයක් වූයේ, බැල්ලිය ඔහු සපා නොකෑබවයි. බැල්ලිය සපා කෑවා නම් ඔහු මෙතෙක් දිනක් දුක් විඳින්නේ නැත. එහෙත්, මෙය ඉතා පැහැදිලිව දැන සිටියත් ඔහු තුළ වූ ‘සුනඛභාවය’ මඳකින්වත් අඩු වූයේ නම් නැත. ඒ වෙනුවට ඔහුගේ ඇස් ඉදිරිපිට මැවී පෙනෙන්නට වූයේ මේ නිසා ඇති වන භයානක ප්‍රතිඵලයන්ය.
ඔහුට ‘වලිගයක්’ එමින් පවතින බව දැනුණේය. ඔහුගේ දෑත බල්ලකුගේ ඉදිරි පා වැනිය. ඔහුගේ මුහුණ බල්ලකුගේ මුහුණ සේය. ඔහුගේ ඇස්, හැම තැනින්ම පහරකමින් ඉබාගාතේ යන බල්ලකුගේ මෙන් බියෙන් පිරී ඇත්තේය. ඔහුට පළමුවරට බියක් දැනුණේ පහර කා හෝ ඉබාගාතේ ඇවිද ගොස් හෝ යම් විටෙකදී කඩා පැන කිසිවකු ‘සපා කන්නට’ උත්සාහ දරාවි යැයි සිතුණු නිසාය.
පළමු වරට සිදුවූ මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා ඔහුගේ ඥාතියෙක් විය. එම තැනැත්තා තමා හඳුන්වා ගත්තේ මොහුගේ බිරියගේ සහෝදරයකු ලෙසටය. එහෙත්, එය කිසිදු ඵල ප්‍රයෝජනයකට නැති දෙයක් බව ඔහු දැන සිටියේය. බොහෝ දිනක සිට එම තැනැත්තාගේ පැමිණීම නවතා දමන්නට ඔහුට අවශ්‍ය වී තිබුණු නමුදු, එසේ කිරීමෙන් සහෝදරයා සහ සහෝදරිය අතර ඇති පිවිතුරු සොයුරුදම බිඳ දැමීමට උත්සාහ දැරුවේ යැයි චෝදනාවක් ලබා අවමානයට පත් වන්නේත් තමාම නොවේදැයි ඔහුට සිතිණි.
ඉතා වැදගත් මිනිසකු වූ ඔහු කිසිවකුට අවමන් කිරීමට නොසිතුවේය. ඒ නිසාම ඔහු නිහඬව සිටියේය. එහෙත් දැන් ඔහුට ඥාතියා ‘සපා කෑමට’ හැකිය. මක්නිසාද යත්, ඔහුගේ මුහුණ පෙනුණේද ‘බලු මුහුණක්’ සේය. යම් ලෙසකින් තමා බල්ලකු වේයැයි යන බිය නොවූයේ නම්, සමහර විට ඔහු සපා කෑමට ඉඩ තිබිණි.
එහෙත් ඊට පසු බොහෝ ‘අය’ ඔහුට පෙනෙන්නට පටන් ගත්තේ ‘බල්ලන්’ සේය. ඔහු සිතින්, මිනිසුන්ගේ මුහුණු ‘බලු මුහුණු’ සමඟ ගළපමින් සිටියේය. කෙනකුගේ මුහුණක් දුටු විගස හැඟී යන්නේ ඔහු වෙත කඩා පනින්නටය. ඒ අය අතර ඔහුගේ ‘අසල්වැසියකු’ද සිටින බව ඔහු දුටුවේය. මේ පුද්ගලයා නිරන්තරයෙන්ම තම ප්‍රදේශයේ පිරිමි ළමයින්ගේ හා ගැහැනු ළමයින්ගේ චරිතවත්භාවය පිළිබඳ අවධානය යොමු කළේය. ඔහුගේ මිනිබිරිය තරුණයකුට ප්‍රේම කළාය. ඒ තරුණයා සිරගෙට යැවූ ඔහු තම මිනිබිරිය අතිශයින්ම දූෂිත පුද්ගලයකුට විවාහ කර දුන්නේ ඔහුට අයත් මත්පැන් බලපත්‍රය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙනි. එය ලබා ගැනීමෙන් පසුවද ඔහු අන් අයගේ ‘චරිත ශුද්ධිය’ ගැන සැලකිලිමත් වීම අත්හළේ නැත.
කිසියම් දිනෙක මේ පුද්ගලයාට එරෙහිව දෝෂාරෝපණයක් එල්ල කිරීමේ අදහස ඔහු තුළ තිබිණි. එහිදී ඔහුගේ ‘වැදගත්කමෙන්’ පිහිටක් නොලැබිණි. එහෙත් ඔහු ඒ පුද්ගලයා සමඟ සැසඳීමේදී අතිශය දුර්වලයෙක් වූයේය.
තුන්වැන්නා වූයේ ‘දේශපාලකයෙකි’. ඔහු දේශය හා සමාජය ගැන ‘බොහෝ දේ’ කියූ පුද්ගලයෙකි. ඒ කතාවල දුප්පතුන් හා කුලහීනයන් නඟා සිටුවීමේ සැබෑ කැපවීමක් දක්නට තිබිණි. එහෙත් දිනක් ‘අජූත්’ හෙවත් ‘ස්පර්ශයටවත් නුසුදුසු’ යැයි සම්මත කුලයක පුද්ගලයකු ඔහු සමඟ ‘එක සමාන’ අසුනක හිඳ ගත්තේය. ඒ ගැන තම අකැමැත්ත නොඇඟවූ ඔහු වෙනත් ව්‍යාජ හේතුවක් මවා ගත්තේ කෝපයට පත් වී ඒ පුද්ගලයා තම නිවෙසින් පන්නා දැම්මේය.
එක් ‘සමාජවාදියෙක්’ සිටියේය. ඉතා ඉහළ මට්ටමේ ජීවිතයක් ගත කළ ඔහු, දුප්පතුන්ට සේවය කිරීම සඳහා ඉහළ පෙළේ හෝටල්වල පැවැත්වෙන ඉහළ පෙළේ සාද උත්සවවලට සහභාගි වූයේය. නිතරම විදේශ සංචාරයන්හි යෙදුණේය. වැඩවර්ජන සඳහා කම්කරුවන්ගේ වෘත්තීය සමිති උසිගැන්වූ ඔහු කර්මාන්තශාලා හිමිකරුවන්ගෙන් මුදල් ලබා ගත්තේය. ඔහුගේ දරුවෝ අධික වියදම් සහිත උසස් ඝනයේ පාසල්වල ඉගෙන ගනිමින් සිටියහ. ඔවුන්ට අවශ්‍ය මුදල් සපයා ගන්නේ දුප්පත් දරුවන්ට උදවු කිරීමට යැයි පවසා එකතු කර ගන්නා ‘මුට්ටි කාසි’වලිනි.
තවත් එක් පුද්ගලයකු ඉහළ ‘නිලධාරියකු’ බවට පත්වූ දා සිටම කතා කළේ ඉංගිරිසියෙන්ම පමණි. එය කොතරම් දුරකට ගියේද යත්, තමන්ගේ මිතුරන්ට පවා මේ ‘මහත්තයා’ ආරූඪ කරවන්නට උත්සාහ කළේය. ඔහුට මේ පුද්ගලයා ගැන තදබල කෝපයක් ඇති වූයේ මොහු ඔහුගේද මිතුරකු වූ බැවිනි. එහෙත්, ඒ පුද්ගලයාගේ මුහුණ ඔහුට ‘බල්ලෙකු’ සේ පෙනුණේ නැත. බොහෝ අවස්ථාවලදී මේ පුද්ගලයාට හොඳ – නරක කියා දෙන්නට ඔහු උත්සාහ කළ මුත්, ඒවා කියා ගන්නට ඉඩක් නොලැබුණේය. මක්නිසාද යත් ඉහත කී හැම පුද්ගලයකු ඉදිරියේම ඔහු දුබල, අහිංසක මිනිසකු වූ බැවිනි. දැන් ඒ සියල්ලන්ගේම මුහුණු වෙනස් වී ගොස් ‘බල්ලන්ගේ මුහුණු’ සේ දිස් වන්නට විය. ඒවා අතර දේශපාලකයාගේ මුහුණ මෙන්ම, මිතුරාගේ මුහුණද විය. ඔවුන්ගේ කමිසවල කොලරයන් ‘බලු-පටි’ ලෙසත්, ටයි-පටි ‘බලු-දම්වැල්’ ලෙසත් පෙනෙන්නට විය.
ගල්අඟුරු සහ ධාන්‍ය බලපත්‍ර හිමි “කළුකඩ මුදලාලි” දුටු විට ඔහුට දැනෙන්නේ ඒ පුද්ගලයාටත් ‘බලු මුහුණ’ක් ඇත්තා සේය. ධාන්‍ය සහ ගල්අඟුරු සලාකය රජයේ ගබඩාවේදීම අයුතු ලෙස විකුණා දමන හෙතෙම මුදල් ලබා ගනියි. රජයේ සේවයට පත්වී ආ නිලධාරියා කිසිදු විටෙක සේවා ස්ථානයේ නියමිත අසුනේ නොසිටියේය. හොර බෙහෙත් විකුණන ඔෟෂධහල, පාතාල නායකයන් සමඟ එක් වී නීතිගරුක පුරවැසියන්ට හිරිහැර කරන පොලිස් භටයා ආදී සෑම කෙනකු ගැනම ඔහු තුළ ඇති වූයේ කෝපයකි. එහෙත්, ඔහුගේ මනස වෙළා ගත් ‘අසරණභාවය’ ඔහු කනස්සල්ලට පත්කළේය. මක්නිසාද යත්, ඉහත කී සෑම පුද්ගලයකු අබියසදීම ඔහු අතිශය ‘දුබල’ පුද්ගලයෙක් වූයේය.
එහෙත්, ඔහු දැන් අතිවිශාල ශක්තියකින් සන්නද්ධ වී සිටියි. ඉහත කී පුද්ගලයන් සෑම දෙනාම අඩුම ගණනේ ‘සපා කෑමේ’ හැකියාවවත් දැන් ඔහු සතුව ඇත. මේ ශක්තිය පිළිබඳව ඔහු සතුටට පත් වූයේය. කිසියම් ‘ගුප්ත විද්‍යා බලයක්’ ලැබුණා සේ ලෝකයේම නරක මිනිසුන්ට දඬුවම් කිරීමේ ‘ශක්තිය’ දැන් ඔහු සතු වී තිබේ.
ඔහුට එක්වරම සිහියට ආවේ මේ ශක්තිය භාවිත කිරීම ඔහුට කළ නොහැක්කක් බවයි. මන්ද යත්, එම ශක්තිය භාවිත කරන්නට යෑමේදී, එහි පළමු බලපෑම එන්නේ තමන්ට නොවේ දැයි සිතුණු විටදීය. වෙනත් වචනවලින් කියන්නේ නම්, ඔහු ‘බල්ලකු’ වනු ඇත. පිස්සු, ‘උමතු බල්ලෙකු..!’ එක්වරම ඔහුගේ මනසෙහි ඉදිරියේ ඇඳී ගියේ, බල්ලන් සපාකෑම නිසා මණයට පත් වන්නන්ගේ බියකරු සිතුවමයි. සමහර විට, ඔහුට කිසියම් භයානක රෝගයක් සෑදී ඇත්තා සේ එය බැල්ලිය සපාකෑම හා සම්බන්ධ වන්නකි. මෙය ඔහුගේ සිතුවිල්ලක් වන්නට ඉඩ ඇත. නමුත්, සමහර විට කිසියම් දිනක ඔහුගේ ආච්චි (පියාගේ මව) කරදර දෙන්නට ඇත. බැල්ලියට මුගුරුවලින් පහර දෙන අයුරු නැවත ඔහුගේ මතකයට නැඟෙන්නට විය. උගේ පැටියා අසරණව කෙඳිරි ගාමින් සිටියේය. නැතහොත් කිසියම් මිනිසකුට තවත් මිනිසුන් රැසක් පහර දෙමින් සිටියහ. සමහර විට ඒ මිනිසා ‘මිනිසුන් සපා කමින් යන්නෙක්’ විය හැකිය. පහර දෙන මිනිසුන්ගේ උකුසු බැල්මෙන් යුත් මුහුණ ඔහු සපා කෑ යුතු යැයි සිතූ මිනිසුන්ගේ මුහුණුවලට සමාන වූයේය. ඒ අය අතර කළුකඩ මුදලාලිත්, මත්පැන් බලපත්‍රය ලබා ගැනීම සඳහා තම මිනිපිරිය ‘විකුණු’ අසල්වැසියාත් යන දෙදෙනාම සිටියහ. එමෙන්ම, ‘දේශපාලකයාත්,’ ‘පාතාල නායකයන්’ සමඟ එක් වී කටයුතු කරන ‘පොලිස් භටයාත්’ එහි සිටිනු දක්නට ලැබිණි. ඔවුන් පහර දෙන්නේ බල්ලන්ට නොවේ. මිනිසුන්ටය. පහර කන මිනිස්සු ‘බල්ලන්’ බවට පත්වෙති.
ඔහුට එක්වරම දැඩි නොසන්සුන් බවක් දැනෙන්නට විය. ඔහුට දැනුත් වතුර බීමට හැකිය. එමෙන්ම, අනෙකුත් සියලුම වැඩ කටයුතු කිරීමටත් හැකිය. එහෙත්, ඔහු තුළ වූ බිය තව තවත් වැඩි වී ගියේය.
බියකරු මාරාන්තික බිය!
අවසානයේදී දිනක් ඔහු නැවත වෛද්‍යවරයා වෙත ගියේය.
වෛද්‍යවරයා ඔහුට මෙවරත් බෙහෙත් කිසිවක් දුන්නේ නැත… ‘ඔහේට බෙහෙත් මොකුත් දෙන්න ඕන නෑ.’ නිර්දය සිනහවක් පාමින් වෛද්‍යවරයා කීවේය. මෙවර එම සිනහව ඔහුට සතුටක් ගෙනාවේය. මන්ද යත්, එයින් ඔහුට ඔහුගේ ‘සුනඛභාවයෙන් මිදීමට අවස්ථාවක් ලැබෙන බැවිනි.
ඔහු එදිනම සියලු රෝග රහිත වූයේය. එහෙත්, එක් විටම කිසියම් කරුණක් නිසා ඔහු බොහෝ සේ බියට පත් වූයේය. ඔහු දින කිහිපයක් යන තෙක්ම මනසෙහිවූ භයංකර යුද්ධයකට ගොදුරු වී සිටියේය. මෙය, පෙරටත් වඩා ඔහුට බිය ගෙන දෙන්නක් විය.
දවස් හතරකට – පහකට පමණ පසු ඔහු නැවත වෛද්‍යවරයා සොයා ගියේය.
“දැන් කොහොමද?” වෛද්‍යවරයා ඇසුවේය.
ඔහු බොහෝ වේලාවක් කල්පනා කළේ ‘මොනවා කියන්නද?’ යන්නයි. මේ සිතුවිල්ල සිත පුරා දුවමින් තිබුණු නමුදු, එය වචනවලට පෙරළී එළියට නොආවේය. වෛද්‍යවරයා වරින් වර නැවත නැවත ප්‍රශ්න කරද්දී ඔහුට කෑ ගැසුණේය.
“මගේ ‘බය’ මට ආපසු දීපල්ලා!”
වෛද්‍යවරයා අන්දමන්ද වී ඔහු දෙස බලන්නට වූයේය. ඔහු නැවත වරක් කෑ ගැසුවේය. “ඔව්, මට මගේ ‘බය’ ආපසු දීපල්ලා.”
වෛද්‍යවරයා තවත් අන්ද මන්ද වී ඔහු දෙස බලන්නට විය. ඔහු නැවැතත් කෑ ගැසුවේය…
“ඔව්, මට මගේ ‘බය’ ආපහු දියල්ලා. මට දැන් කිසිම දෙයක් ගැන කේන්තියක් එන්නෙ නෑ. දැන් මට ඒ හැම දෙයක්ම ‘දරා ගන්න’ පුළුවන් වේගෙන එනවා…”
පරිවර්තනය බොබී ජී. බොතේජු
ඇය මානසික රෝගී කාන්තාවකැයි අන්තිමේ මම නිගමනය කළෙමි. එය ස්වාභාවිකය. ඇයට පිස්සු යැයි මගේ මව කීවාය. මේ මැහැල්ල මානසික රෝගීන් කරන විකාර වැඩ ඇත්තටම කරන නිසා නොවේ. ඇය වැඩිපුර කතාබහ නොකරයි. එහෙත් සමහර අවස්ථාවල ඇය කිසිදු පිළිගත හැකි හේතුවක් නොමැතිවම පාලනය කරගත නොහැකි අයුරින් සිනාසෙන්නට පටන් ගනියි. අනෙක් මිනිසුන්ට නොපෙනෙන දෙයක් දැකීමෙන් ඇය මෙසේ සිනාසෙනවා වන්නට ඇතැයි මිනිස්සු කියති.
රැලි වැටුණ මුහුණ සහ දිරා ගිය සිරුරට නොගැළපෙන දීප්තිමත් බවක් සහ ජීවමාන බවක් ඇගේ ඇස්වලින් පළවේ. ඇගේ ඇස්වලින් කිසියම් අබිරහසක් කියැවෙන බව මම මුල සිටම විශ්වාස කළෙමි. එම අබිරහස කුමක්ද? එය තිබෙන්නේ කොහේද? එය ඇය තුළම තිබිය හැකිය. නොඑසේ නම් ඇය මිනිසුන් දෙස බලන්නේ මේ ආකාරයෙන්ද? එසේත් නැති නම් ඇය ජීවිතය ගත කරන ආකාරය මෙයද? මෙයින් කුමක් හෝ එකක් විය හැකිය. එසේ නැති නම් මේ සියල්ලේම සංකලනයක් විය හැකිය.
වරක් මම මගේ නිරීක්‍ෂණය මගේ පියාට කීවෙමි. ඔහු මා දෙස බලා හෙමිහිට මෙසේ කීවේය. “සමහර විට ඇය තුළ පවත්නා ශෝකය විය හැකියි. අනුකම්පා විරහිත ගිනියම් හිරු රැස් අපේ හිස්වලට ඇවිත් අපව පිස්සු වට්ටවලා හිස් බවින් පුරවලා.”
ඔහු මෙසේ කීවේ මන්දැයි මම එවකට දැන නොසිටියෙමි. ඔහු මගේ ප්‍රශ්නයට පිළිතුරු දීම වෙනුවට කළේ තමාගේ අදහස් ශබ්ද නඟා ප්‍රකාශ කිරීමක් බව මම තවමත් විශ්වාස කරමි. එහෙත් ඔහු නිවැරැදිය.
මුළු රටම මරණයේ හිස් බවින් පිරී ඇත. කලක් අලංකාරව තිබූ බඩවැටි, අපේ භූමියේ සම්පත, අපේ දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ ආඩම්බරය, වියළී ගොස් දූවිල්ලෙන් වැසී ඇත.
බොහෝ දෙනා පළ කළ අනාවැකිය විනාශය සහ මරණයයි. බලයෙන් පිරිහුණත් තවමත් කිසියම් හේතුවක් නිසා අපේ ගම් පියසේ රැඳී සිටින වෛද්‍යවරයා පවා ටික දෙනකුට උපදෙස් දුන්නේ විනාශය සහ මරණය ගැනයි.
බොහෝ මිනිස්සු සාගින්නෙන් පෙළුණහ. අපේ නිවෙසේ අපි වාසනාවන්ත වීමු. මන්දයත් මගේ එක් සොහොයුරකු නයිරෝබිවලත් තවකකු ලිමූර්වලත් වැඩ කළ බැවිනි.
මගේ පියා ඉදිරිපත් කළ අදහස් මැහැල්ල පිළිබඳව ගැඹුරින් සිතා බැලීමට මා පෙලඹවීය. මාසය අවසානයේ මගේ මව වෙළෙඳපොළින් යාම්ස් සහ නිජාහි රැගෙන ආ විට මම ඉන් ටිකක් සොරකම් කර එයත් රැගෙන සන්ධ්‍යාවේ මැහැල්ල වාසය කරන මැටිවලින් තැනූ පැල්පත සොයා ගියෙමි. මා එම කාන්තාව හමුවූ මුල් අවස්ථාව එයයි. ඉන් පසු මම බොහෝ අවස්ථාවල එහි ගොස් ඇත්තෙමි. එහෙත් ඒ සියල්ල අබිබවා එදින සන්ධ්‍යාවේ ගිය ගමන මගේ මතකයේ රැඳී ඇත.
ඇය අඳුරු මුල්ලක ගුළි වී සිටි අතර ළිපේ දර කැබැලි කිහිපයක් නිවී යමින් තිබිණි. වරින් වර ඇවිළෙන ගිනි අඟුරුවලින් මැටි බිත්තිවල විකාර සෙවණැලි ඇඳිණි. බියට පත් මට පැන දිවීමට අවශ්‍ය විය. එහෙත් එසේ නොගියෙමි. මම “ආච්චියේ” යනුවෙන් ඇය ඇමැතුවෙමි.
ඇය යාමි දෙසත් අනතුරුව මා දෙසත් බැලුවාය. ඇගේ ඇස් දීප්තිමත් විය. අනතුරුව මුහුණ පහතට හරවාගෙන වැලපෙන්නට පටන් ගත්තාය.
“මම හිතුවෙ ඒ ඔහු ආපහු එනවා කියලා” ඕ ඉකිගසමින් කීවාය. අනතුරුව “නියඟය මාව විනාශ කළා” යනුවෙන් පැවැසුවාය.
මට එය දරාගත නොහැකි විය. මගේ පියා මගේ පැමිණීම ගැන දන්නවා නම්? එබැවින් මම විගස පැන දිව්වෙමි. සමහර විට ඇයට පිස්සු හැදී ඇත.
සතියකට පසු ඇය ඔහු ගැන මා සමඟ කීවාය. අඳුරු පැල්පතේ ශෝකී පරිසරය තුළ හිර වී නියඟය සමඟ ඇය ගෙනගිය ජීවන අරගලය ගැන ඇය ආකූල ව්‍යාකූල ලෙසින් විස්තර කළාය.
මා කලින්ද සඳහන් කළ පරිදි අපි සියලු දෙනා වැස්ස අපේක්‍ෂාවෙන් මාස ගණනක් බලා සිටියෙමු. මුල්ම වැහිබිඳු වැටුණු දිනට පෙර දින රාත්‍රියේ සෑම කෙනකුටම නුහුරු තනිකමක් සහ වෙහෙසක් දැනිණි. වීදිවල කිසිදු හඬක් නොනැඟිණි. තම එකම පුතු රැකගෙන සිටින කාන්තාවට කිසිවක් නෑසිණි. ඇය කකුල් තුනේ පුටුවේ (ගිකුයා) වාඩිවී ළිප අසල තබා ඇති කුඩා ඇඳේ වාඩිවී සිටින පිරිමි දරුවාගේ අඳුරු මුහුණ දෙස බලාගෙන සිටියාය. නිවී යමින් පවතින ගිනි අඟුරු වරින් වර දැල්වෙන විට අඳුරු මුහුණු සුදු පැහැ ගැන්වෙන අයුරු පෙනිණි. බිත්තිවල අඳුරු සෙවණැලි වැටිණි. ඇඳ ළඟ සිටින තමාගේ එකම ආරක්‍ෂකයාට සරදමකට මෙන් පිරිමි ළමයා දිගටම ප්‍රශ්න නැඟුවේය.
“අම්මෙ මාව මැරේවි කියලා හිතනවද?” තමා කළ යුත්තේ හෝ කිව යුත්තේ කුමක්දැයි ඇයට නොවැටහිණි. ඇයට කළ හැක්කේ බලාපොරොත්තු පිරුණු දෑසින් දෙවියන් යැදීම පමණකි. එහෙත් සාගින්නේ පෙළෙන දරුවාගේ ආයාචනය බලවත් විය.
සැමියා නොමැති ඇය කරන්නේ කුමක්ද? ඇයට ඔහු අහිමි වූයේ හදිසි නීතිය පැවැති සමයේදීය. ඔහු මරා දමනු ලැබුවේ මාවු මාවු ව්‍යාපාරය විසින් හෝ අධිරාජ්‍යවාදී හමුදාව විසින් හෝ නොවේ. මත්පැන් සාදයකදී වස දීමෙනි.
නියඟය සහ සාගින්න නිසා හතළිස් ගණන්වල ඇයගේ පුතුන් දෙදෙනා මියගිය දිනවල රාත්‍රි මෙන් නොව 1961 වසරේ මෙම රාත්‍රිය බෙහෙවින් වෙනස්ය. ඒ මඤ්‍ෙඤාක්කා නියඟය පැවැති සමයයි. මඤ්‍ෙඤාක්කාවලින් පිටි සාදා ආහාරයට ගත් බැවින් එම සාගතයට එම නම ඇති විය. එකල ශෝකය බෙදා ගැනීමට ඇගේ සැමියා සිටියේය. දැන් ඇය තනිව සිටී. එය ඇයට වූ බලවත් අසාධාරණයකි.
මිෂනාරිවරුන් සාගතයෙන් ඇයගේ මව බේරා නොගත්තා නම් ඇය කිසි දිනක උපත නොලබනු ඇත. එය සුදු ජාතිකයන් පැමිණීමට මඳ කලකට පෙරයි. රැකියා දුර්භික්ෂය (එංගලන්තයේ දුර්භික්ෂය) ජනතාවට මුහුණදීමට සිදුවූ බරපතළම සාගතය විය. එම දුර්භික්ෂයෙන් ඇගේ සීයා සහ ආච්චි මියගිය අතර පවුලෙන් ඉතිරි වූයේ ඇය පමණි.
පිරිමි ළමයාගේ චෝදනාත්මක ආයාචනය අසන සහ ඔහුගේ දුක්බර මුහුණ දෙස බලන ඇයට නියඟය නිසා සිදුවූ ව්‍යසනයන් මැවී පෙනෙන්නට විය. මොහු ඇයගේ එකම පුත්‍රයායි. බොහෝ ප්‍රමාද වී ලැබුණු පුත්‍රයායි.
ඕ පැල්පතින් පිටවී ගම්මුලාදෑනියා වෙත ගියාය. ඔහු ළඟ කිසිවක් නැත. එහෙත් ඔහු ඇය වටහාගත් බවක් නොපෙනිණි. නොඑසේ නම් නියඟයට කළ හැක්කේ මරණය ළඟා කරදීම පමණක් බව ඔහුට වැටහෙන්නට ඇත. ඇගේ පුතාට නිතරම වැලඳෙන රෝගය නැවතත් වැලඳී ඇතැයි ඔහු කල්පනා කළේය. ඇගේ සිතිවිල්ලද එයම විය. ඇගේ පුත්‍රයා හැම විටම රෝගී දරුවෙකි. එහෙත් ඇය ඔහු රෝහලකට රැගෙන නොගියාය. දැන් වුවත් එසේ නොකරන්නීය. නැත. නැත. රෝහල වුවත් ඇයගේ පුතු භාරගන්නේ නැත.
ඔහු වෙනුවෙන් සියල්ල ඉටුකර දීමට ඇය සූදානම්ය. ආබාධිත දරුවා වෙනුවෙන් සියලු බර ඉසිලීමට ඇය සූදානම්ය. එහෙත් මෙවර ඔහුට මරණ තර්ජනය රැගෙන එන්නේ සාගින්නයි. ගම්මුලාදෑනියා ඇයට පැවැසුවේ නියඟයට හසුවූ ප්‍රදේශවල ජනතාවට සලාක ක්‍රමය යටතේ ආහාර ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවයි. ඇය මේ බව කලින් දැන නොසිටියේ ඇයි?
දිස්ත්‍රික් කාර්යාලයේ පෝලිම දිගු එකක් විය. ඇය ඇගේ සලාකය ලබාගෙන බර හදවතින් යුතුව පයින්ම නිවෙස වෙත ආවාය. ඇය පැල්පතට ඇතුළු නොවූවාය. ඇය පැල්පතෙන් පිටත ඇණතියා ගත්තාය. ඇගේ දණහිස්වල ශක්තිය පිරිහී ගොසිනි. අමුතු ගැහැනු සහ මිනිස්සු ඇය සමඟ කතා නොකොටම ඇගේ පැල්පත තුළට එබෙති. ඇගේ පුතා හැර ගොස් ඇති බවත් නැවත නොපැමිණෙන බවත් ඇය දැන සිටියාය.
මේ සියලු විස්තරය කියන විට මැහැල්ල මා දෙස නොබැලුවාය. දැන් ඇය මා දෙස බලාගෙන දිගටම කියාගෙන ගියාය. “මම දැන් නාකි ගෑනියෙක්. මගේ එකම පුතාට හිරු බැහැල ගිහින්. නියඟය ඔහුව රැගෙන ගියා. ඒක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත” ඇය බිම බලාගෙන ළිපේ ගිනි අඟුරු ඇවිස්සුවාය.
මම ආපසු යෑමට නැඟී සිටියෙමි. ඇය වරින් වර කැඩෙමින් ඇගේ කතාව මා සමඟ කීවාය. ඇත්තෙන්ම එය පිස්සු ගැහැනියකගේ කතාවක් නොවේ. එදින රාත්‍රියේ මා නිවෙසට ගියේ සමහර මිනිසුන් දුක් විඳින්නටත් කාලකණ්ණි ලෙස ජීවිතය ගෙවන්නටත් ඉපදුණේ මන්ද කියා සිතමිනි.
මා අන්තිම වරට ඇය දුටුවේ මීට සති දෙකකට හෝ තුනකට පෙරයි. දැන් වැස්ස ඇරැඹී ඇත. සතියක පමණ කාලයක සිට වැසි වැටේ. එහෙත් ඒ තුනී වැස්සකි. කාන්තාවෝ පැළ සිටුවීමෙහි නිරත වෙති. බලාපොරොත්තු කඳු ගැසේ.
ඇත්තටම ධාරානිපාත වර්ෂාව ආරම්භ වූයේ ඊයේයි. එය වේලපහින්ම ඇරැඹිණි. වසර ගණනාවක්ම එවැනි වර්ෂාවකට අපි සාක්‍ෂි නොදැරුවෙමු. මම මැහැල්ලගේ නිවෙසට ගියෙමි. නිකම්ම නොවේ. තුඩු පඬුරුද රැගෙනයි. මෙවර මා රැගෙන ගියේ බතලයි. දොර විවෘත කළ මට දක්නට ලැබුණේ සුපුරුදු මුල්ලේ ඇය ගුළි ගැසී සිටින ආකාරයයි.
ළිපේ ගින්දර නිවී ඇත. දැල්වෙන පහනක කහ පැහැති දැල්ල පමණක් යාන්තමින් නටනු පෙනේ. මම ඇයට කතා කළෙමි. ඇය යාන්තමින් හිස එසවූවාය. පහනේ මඳ ආලෝකයෙන් ඇය සුදුමැලි වී ඇති බවට මට පෙනිණි. ඇය යාන්තමින් ඇස් විවර කළාය. එහි සාමාන්‍යයෙන් ඇති දීප්තියට වඩා දහස් ගුණයකින් වැඩි අමුතු දීප්තියක් විය. එහෙත් එහි අමුත්තක් ඇත. එය ශෝකය නොවේ. ඇය බොහෝ කලක් අපේක්‍ෂා කළ මෙතෙක් අහිමිව තිබූ දෙයක් හමුවූ කලක ඇති වන සතුට මෙන් සතුටක් හා ප්‍රබෝධයක් ඇයගේ ඇස් තුළ ඇත. ඇය සිනාසීමට වෑයම් කළාය. එහෙත් ඒ සිනහවේ කිසියම් අවලස්සන සහ දුෂ්ට බවක් ඇත. ඇය වචන පිට කිරීමට උත්සාහ කළාය. ඇයගේ අපේක්‍ෂාව ඇය ලැබූ සහනය සහ තෘප්තිය ප්‍රකාශයට පත්කිරීමයි.
“මට ඔක්කොම පේනවා. ඒ අය දොරකඩ ළඟ මම එනකං බලා ඉන්නවා. ඒ නිසා මම යනවා.”
ඇය නැවතත් ගුළි ගැසුණාය. මෙතෙක් දැල්වෙමින් තිබුණු පහන නිවී ගියේය. පහන නිවී යෑමට පෙර නිවෙසේ කොනක මා දුන් තෑගි බෝග අසුරා ඇති බව දුටුවෙමි. මා දුන් ආහාරවලට ඇය අතවත් තබා නැත. එහෙත් ඒවා අසුරා තබා ඇත. මම පිටතට පැමිණියෙමි.
වැස්ස නතර විය. මාවත්වල දෙපස විවෘත දොරවල් අතරින් ගිනි දැල්වෙන ළිප් දැකිය හැකි විය. මිනිස්සු කතාබස් කරමින් සිනාසුණහ.
අපේ නිවෙසේ සියලු දෙනාම සිටියහ. මගේ පියාද සිටියේය. මගේ මව ඉවුම් පිහුම් අවසන් කර ඇත. මගේ සොහොයුරු සොහොයුරියෝ නියඟයේ අවසානය සහ වැසි වැටීම් ගැන කතා කරමින් උන්හ. මගේ පියා සුපුරුදු පරිදි නිහඬ කල්පනාවක ගැලී සිටියේය. මම නිහඬව සිටියෙමි. මම කතාබහට සම්බන්ධ නොවීමි. මගේ කල්පනාව පිස්සු ගැහැනිය සහ ඇය අත නොගැසූ ආහාර පිළිබඳව විය. ඇයත් නියඟය සහ බඩගින්න සමඟම යන්නට ඇතැයි මට හැඟිණි. ඒ සමඟම මගේ සහෝදරයෙක් පිස්සු ගැහැනිය ගැන සඳහන් කරමින් අගේ පිස්සුව ගැන හාස්‍යජනක යමක් සඳහන් කළේය.
මම නැඟිට කෝපයෙන් ඔහු දෙස බලුවෙමි.
“ඇත්තටම පිස්සු…” මම උස් හඬින් කෑගැසුවෙමි. සෑම කෙනෙක්ම බියපත් දෑසින් මා දෙස බැලූහ. මගේ පියා හැරෙන්නට අන් සියල්ලෝම බියපත්ව සිටියහ.
පරිවර්තනය ජයන්ත විමලසේන
කෝ සින්ගේ බිරින්දෑ වූ මා පාවුගේ රැකියාව වූයේ වෙළෙඳපොළට ගොස් එළවළු විකිණීමයි. සෑම උදයකම ඈ එළවළු වට්ටිය හිස මත තබාගෙන නගරයට ගියාය. ඉක්මනින් බඩු විකුණුණු දාට
වේලාසනින් ආපසු එන්නීය. නොඑසේ නම් බොහෝ විට ඇයට ගෙදර ඒමට සිදු වන්නේ ඇඳිරි වැටුණාටත් පසුය. ගම අද්දර ගඟ හරහා වැටී ඇති උණබට පාලම වෙත ළං වෙත්ම ඇයට තම සැමියා ගැනත් දරුවන් ගැනත් නොයෙක් සිතිවිලි පහළ වෙයි.
උස් සිරුරක් ඇති ඇගේ හිසකෙස් තඹ වන්ය. දත් තරමක් ඉදිරියට නෙරා ඇත. එහෙත් ඇය අවලක්ෂණ යැයි කිව නොහැකිය. ඇගේ සැමියා වූ කෝ සින් වූකලී නිතරම පාහේ ගෙදරට වී නිවාඩුපාඩුව කාලය ගත කළ පුද්ගලයෙක් විය. ඔහු කිසිවක් නොකළැයි කීමද සම්පූර්ණයෙන් සැබෑ නොවේ. ගෙදර ඉවුම්-පිහුම් වැඩත් ළමයින් බලාකියා ගැනීමත් ඔහුට පැවැරී තිබුණු හෙයිනි.
කෝ සින් එක්තරා පන්සලක මහණ වී පුරා නව මසක්ම සාමණේර නමක්ව සිටියේය. ඔහුට සෑහෙන ඉගෙනීමක්ද තිබිණි. ඔහු යහපත් ගති පැවැතුම් ඇති, සිනාවට ප්‍රිය කරන කෙනෙක් වූයේය. ගම් පළාතේ පින්කම්පළක වේවා මඟුල් ගෙදරක වේවා මූලිකව ක්‍රියා කරන්නේ ඔහුය. ඔහු තම බිරින්දෑ තරම් උස් නොවෙයි. ඔහුගේ උරහිස්ද පටුය. ඔහුට සිහින් උඩු රැවුලක් ඇති අතර හිසකෙස් කොටට කපා ඇත. දණහිස් දක්වාම සිරුරෙහි රූප කොටා තිබේ.
ඔවුන් දෙදෙනා විවාපත් වී පුතකු ලැබුණාට පසු මා පාවු කඩයක් දමාගෙන වෙළෙඳාමෙහි යෙදුණාය. ඇය තම සැමියාගේ ඕනෑ එපාකම් ඉටු කළේත් ඒ කඩයෙන් ලැබුණු ආදායමෙනි. දෙවැනි පුතා උපන් පසු අෑ කඩය පවත්වාගෙන ගියේ ඉතා අමාරුවෙනි. දුව උපන්නාට පසු මා පාවුට පෙර මෙන් වෙහෙස මහන්සි වී වැඩපළෙහි යෙදීමට ශක්තියක් නොවීය. කඩේ වෙළහෙළඳාම් නතර වීම නිසා ඇති වූ පාඩුව සිහි වූ විට ඇයට ඇති වූයේ බලවත් සිත්තැවුලකි.
කෝ සින් තම ජීවිත කාලය මුළුල්ලෙහි කිසි දිනෙක වෙහෙස මහන්සි වී වැඩපළක යෙදී ඇතැයි කිව නොහැකිය. “තමුසෙ හැමදාම ඔහෙ ගෑනිගෙන්ම කකා ඉන්නව. ලැජ්ජ නැද්ද මිනිහෝ!”යි මිනිසුන් කී විට ඔහු විහිළුවට මෙන් “මං ඉහතාත්මෙ කරපු පින් නිසා තමයි මේ වගේ කරදරයක් නැතුව ඉන්න පුළුවන් වෙලා තියෙන්නෙ. උඹල ඉරිසියා නොකර ඉඳිල්ල”යි පිළිතුරු දුන්නේය.
එදිනද මා පාවු සිරිත් පරිදි වෙළෙඳපොළට ගියාය. ලොකු පුතා ඉගෙනීමට පන්සලට ගොස් සිටියේය. අනික් ළමයි දෙදෙනා නිවෙස ඉදිරිපිට වූ සියඹලා ගහ යට සෙල්ලම් කරමින් සිටියහ. කෝ සින් තේ පෝච්චිය ළඟ තබාගෙන තේ බොමින් සිටියේය.
සය දරු පියකු වූ වඩුරාල තම ආයුධ පෙට්ටියත් උසුලාගෙන අල්ලපු ගෙදර ආලින්දයෙන් එළියට බසිනු දක්නට ලැබිණි. අනික් පැත්තේ ගෙදර මනුස්සයා ගං ඉවුරේ උණ පඳුරක උණ ගස් කපන්නට වන. ඉස්සරහ ගෙදර වයසක උන්නැහේ මොකක්දෝ වැඩකට ලී කෝටුවක් රහිමින් සිටියේය.
මුලදී කෝ සින් තේ කෝප්පයෙන් කෝප්පය බොමින් ළමයින් සෙල්ලම් කරනු බලා සතුටින් කාලය ගෙවූ නමුත් අසල්වැසියන් කඩිසර ලෙස වැඩපළෙහි යෙදෙනු දුටු විට ඔහුගේ සතුට අතුරුදන් වීමට පටන් ගත්තේය.
බත් මුට්ටිය ළිපේ තැබිය යුතු යැයි ඔහුට හදිසියේම සිහිපත් විය. ඒ එක්කම අසල්වැසියන්ගේ ඇනුම් පද ද ඔහුගේ සිහියට නැඟුණේය. තම ජීවිතයේ විවිධ සිද්ධි ඇස් ඉදිරිපිට අනුක්‍රමයෙන් මැවී පෙනෙන්නට විය.
නැවතත් මහණ වීම මැනවැයි ඔහු සිතීය. එවිට ඔහුට බත් ඉවීමට සිදු නොවනු ඇත. පුන්‍යකර්මයන් සම්බන්ධයෙන්ම සිත යෙදවීමට අවස්ථාව ලැබෙනු ඇත. තම භාර්යාවටත් දරුවන්ටත් තමන්ගේ මාර්ගයෙන් පින් රැස් කර ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත. නැවත නැවත ඉපදීමේ දුකින් නිදහස් වීමේ කාලය අත ළඟම එළැඹ ඇතැයි නිශ්චය වශයෙන් ඔහුට හැඟී ගියේය. ඒ වුණත් බත් ඉවිය යුතුය. නොඑසේ නම් බඩගින්නේ ඉඳීමට සිදු වේ. දරුවන් බත් ඉල්ලා කෑගසනු නොඅනුමානය. ඔහු වහා නැඟිට කුස්සිය තුළට ගියේය.
මේ අතර මා පාවු වෙළෙඳපොළෙහි තම එළවළුවලට බර වැඩි වීම සඳහා වතුර වත්කරමින් සිටියාය. වැඩිපුර ලැබෙන මුදලින් තම සැමියාට ඉස්තරම් සුරුට්ටු මිටියක් ගැනීමට ඈ අදහස් කළාය.
කෝ සින් බත් ඉවීමෙහි රුසියෙක් වූයේය. ඔහු ළමයින්ට කතාකොට ඉස්සරින් දා ඉතිරි වී තිබුණු වෑංජනත් සමඟ බත් කෑමට දුන්නේය. ළමයින් බත් කා නැවතත් සෙල්ලමට ගියාට පසු ඔහු ඉස්තෝප්පුවේ පඩියක් මත වාඩි වී කල්පනා කිරීමට පටන් ගත්තේය.
මහණ වූ පසු ඔහු පාත්‍රයත් රැගෙන සෑම උදයකම මා පාවුගේ ගෙදරට අවුත් ඇයත් ළමයිනුත් මුණගැසෙනු ඇත. මා පාවු නූගත් තැනැත්තියකි. ඇය බණ දහම් කිසිවක් නොදන්නීය. ඇය මළ පසු හොඳ ලෝකයක නොඉපදෙනවාට සැකයක් නොවේ.
ළමයින්ගේ අඬදබර ඇසී ඔහු යළිත් ප්‍රකෘති ලෝකයට පිවිසියේය. සහෝදරී සහෝදරයාගේ මූණ සූරා ඇත. ඊට පළිගනු වස් ඔහු ඇගේ කොණ්ඩෙන් ඇද්දේය. දැන් දෙදෙනාම තරගෙට මොර දෙති.
කෝ සින් ඔවුන් දෙදෙනා ගෙතුළට කැඳවා ඔවුනට ගෙයි මුළු දෙකක වෙනම ඉඳගැනීමට අණ කළේය. ඔහු නැවතත් ධ්‍යානයට සමවැදීමට මහන්සි ගත් නමුදු ඒ සිතිවිලි පරම්පරාවට ප්‍රවිෂ්ඨ වීමට අපොහොසත් විය. ඔහු ළමයින් දෙස බැලූ විට ඔවුන් නිදි කිරා වැටෙනු දක්නට ලැබිණි. ඔහුටද ඈනුමක් ගියේය.
කෝ සින් නින්දෙන් අවදි වූයේ සියඹලා ගසේ අත්තක නැඟ සිටි පුතාට කතා කරන මා පාවුගේ කටහඬ ඇසීමෙනි.
“දෙයියන්ට ඔප්පු වෙච්චාවෙ! ඉක්මනට බැහැපන්, බැහැපන් අතපය කඩා ගන්නඩද උඹ හදන්නෙ? කෝ අක්කා?”
“ගඟ දිහාවට ගියා” ළමයා පිළිතුරු දුන්නේය.
“කෝ සින්!” මා පාවු කෑගැසුවාය. “හොඳයි ළමයි බලාගන්න හැටි! අපූරු තාත්තා කෙනෙක්!”
“ඔන්න සුරුට්ටු වගයක් ගෙනැත් ඇති”යි සුරුට්ටු ටික කනප්පුව මත තැබූ මා පාවු ළමයිනුත් සමඟ කුස්සියට ගියාය. කෝ සින්ගේ ඇස් ඔවුන් වෙතම රැඳී තිබිණි. මා පාවු දුවගේ ඇඟේ මඩ සෝදා වෙළෙඳපොළෙන් ගෙනා රටකජු අළුවා කෑලි කිහිපය ළමයින් දෙදෙනාට බෙදා දුන්නාය. ඉන්පසු මා පාවු බිම වාඩි වී දෙපා දිගු කොටගෙන කොණ්ඩය ලිහා ඉදිරිපසින් දණහිස් මත වැක්කෙරෙන්නට සලසා ගත්තාය.
“පුතේ, මගෙ පිට කහනව හරියට, පිට ටිකක් කහපන්කෝ” ඈ පුතාට සන් කළාය. රටකජු අළුවා කැබැල්ල දත් ඇඳි අතර රුවාගත් ඔහු දෑතින්ම සිය මවගේ පිට කසන්නට වූයේය. දරුවා පිට කැසූ වේගයට මා පාවුගේ සිරුර ඉදිරියටත් පසුපසටත් වැනෙන්නට විය. ඒ සමඟ දණහිස් දක්වා වැක්කෙරමින් තිබුණු දිගු කෙස්වැටිය දණහිස් මත නටන්නට පටන් ගති. එවිට මා පාවු දිස් වූයේ භූතාවේශ වූ තැනැත්තියකගේ විලාසයෙනි.
ටික වේලාවක් නොරිස්සුම් ස්වභාවයෙන් බලාගෙන සිටි කෝ සින් දිග සුසුමක් හෙළා “මං සිවුරු පොරවගන්නම ඕනෑ”යි අධිෂ්ඨාන කරගත්තේය.
මාසයකට පමණක් සිවුරු පොරවාගෙන සිටින බව කෝ සින් කියා තිබුණද මාස තුනකටවත් වැඩි කාලයක් ගතවී ගියත් ඔහු ගෙදර නාවේය. මා පාවුගේ දරුවන් බලා කියා ගැනීමට ඇවිත් සිටි ඇගේ පුංචම්මා දැන් නිතරම තම දරුවන් ගැන සිහිකරමින් ගමේ යෑමට සැරසෙන්නීය.
“කවදද ඔබවහන්සේ ගෙදර එන්නෙ?” ඈ දිනෙක හාමුදුරුවන්ගෙන් විමසුවාය.
හාමුදුරුවන්ගෙන් පිළිතුරක් නොලැබිණි. ඒ වෙනුවට උන්වහන්සේ ශ්‍රමණ ජීවිතයේ අනුසස් දැක්වෙන ගාථා පන්තියක් සජ්ඣායනා කළහ. ඒ එකද ගාථාවක් පුංචම්මාගේ කන නොවැකිණි. ඇගේ සිතට නැඟුණේ තදබල තරහවකි. තමා අයුතු සේ රඳවාගෙන සිටින බවක් ඇයට හැඟී ගිය බැවිනි. හාමුදුරුවන් නිවෙසින් පිටත් වූවාට පසු ඈ මා පාවුට කතා කොට “මට ආපහු ගමේ යන්ඩ ඕනැ කියපං හාමුදුරුවන්ට සිවුරු ඇරල එන්ඩ කියලා. මට බෑ වැඩකාරියක් වගේ තවත් මෙතැනම රැඳිල ඉන්ඩ”යි වේගයෙන් කීවාය.
මා පාවුටත් තම සැමියාගේ ගෙදර පැමිණීම අවශ්‍ය වී තිබිණි. ඇයද කිහිප වතාවක්ම ඒ ගැන මතක් කළ නමුත් ඇයට පිළිතුරු වශයෙන් ලැබුණේ බණපද කිහිපයක් පමණි. භික්ෂුන් වස් එළැඹෙන කාලයද දැන් අත ළඟමය. මොනවා කරන්නදැයි තීරණයක් කරගත නොහැකි වූ ඈ තම මිතුරියක් සමඟ මේ ගැන සාකච්ඡා කළාය. ටික වේලාවක් කතා කර කර සිටි ඔවුහු හදිසියේම මහ හඬින් සිනාසෙන්නට වූහ.
පසුදා මා පාවු වෙළෙඳපොළට නොගොස් උදෑසනින්ම නැඟිට ඉවුම් _ පිහුම් වැඩවල යෙදුණාය. ඉන් පසු ස්නානය කොට සුවඳ විලවුන් ගල්වා ගත්තාය. ස්වකීය අඟපසඟට ගැළපෙන පරිදි කෙස් කලඹ සකස් කරගත්තාය. නළල් තලය අද්දර වූ කෙස් රොද කුරුලු පිහාටුවක සිරි ගැනෙන සේ පීරාගත්තාය. ඇස් බැම පැහැදිලිව පෙනෙන්නට පාට කූරකින් ඇඳ සාර විටක් සපා තොල් රත්පැහැ ගන්වා ගත්තාය. ඉක්බිති තමා වටිනා සුදු සැට්ටයකින් හා රතුමල් සායකින් සැරසී ළමයින්ද පිරිසුදු ඇඳුමින් සැරසුවාය. ගේ ෙදාරේ බඩුමුට්ටු අසුරා සූදානම්කොට තිබුණු අතර ගෙමිදුලේ කරත්තයක්ද නවතා තිබිණි.
පන්සලට අකුරු ඉගෙනීමට ගිය තම වැඩිමහල් පුතු සමඟ හාමුදුරුවෝ උදේ දහයට පමණ නිවෙස බලා පිටත් වූහ. නිවෙසට ළඟා වූ උන්වහන්සේට මුලින්ම පෙනුණේ මිදුලෙහි නවතා තිබුණු කරත්තයයි. ගෙට ගොඩ වූ විට සාලයෙහි පසෙක සූදානම්කොට තිබුණු බඩුබාහිරාදිය දක්නට ලැබිණි.
ගෙදර බුදු පින්තූරය එල්ලන බිත්තිය අද්දර පුංචම්මා විසින් එළන ලද පැදුරෙහි උන්වහන්සේ වැඩහුන්හ. උන්වහන්සේ මා පාවු ගැන සෝදිසි කළ නමුත් ඈ පේන තෙක් මානයක දක්නට නොවූවාය.
ටික වේලාවකට පසු මා පාවු සුදු බන්දේසියකින් දානය ගෙනැවුත් උන්වහන්සේට පිළිගැන්නුවාය. ඇගේ මුහුණෙහි දුක්මුසු ස්වභාවයක් පිළිඹිඹු වූවාය. හාමුදුරුවෝ වහා ඇය දෙස බැල්මක් හෙළුෑහ. ඇය සැරසී සිටි විලාසය දෙස නැවත වරක් බැලීමට උන්වහන්සේට සිත් විය. ඇගේ ඉරියව් ගැන උන්වහන්සේ පුදුම වූහ.
දානයෙන් පසු මා පාවු බන්දේසිය ඉවත්කොට ගෞරව සම්ප්‍රයුක්ත ලෙස තරමක් ඈතින් වාඩි ගත්තාය. හාමුදුරුවන් භුක්තානුමෝදනාවට සැරසෙත්ම මා පාවු පුංචම්මාට කතා කොට “පුංචම්මෙ, කරත්තකාරය තවම ආවෙ නැද්ද?”යි ඇසුවාය. හාමුදුරුවන්ට භුක්තානුමෝදනාව ඇරැඹීමට වේලාවක් නොවීය. උන්වහන්සේ මිදුලේ නවතා තිබුණු කරත්තය දෙස බැලූහ.
“මා පාවු, මොකක්ද මෙහෙ කෙරෙන්ඩ යන්නෙ?” උන්වහන්සේ විමසූහ.
“මං ඔබවහන්සෙට ඔක්කොම කියන්න ඕන” ඈ හිස නොඔසවාම විස්තර කරගෙන ගියාය. “පුංචම්මට ගමේ යන්න ඕන කියනව! උන්දැත් ගියාම මං තනියම කොහොම ඉන්ඩද? වෙළෙඳාමෙ යන්නයි, ළමයි බලාගන්නයි, වැඩ කීයක් ද? ඒකයි මං මේ කියන්නෙ තමුන්නාන්සෙට මාත් ළමයිනුත් උන්දෑ එක්කම ගිහිල්ල ඒ ගමේම ඉන්නං කියල. ලොකු පුතා තමුන්නාන්සෙ එක්කලම හිටපුවාවෙ.”
ඈ ලොකු පුතා දෙසට හැරී “පුතේ, උඹ හාමුදුරුවොත් එක්ක හිටපං ඇහුණද?”යි පවසා දෑසින් වැගිරුණු කඳුළු කැට පිස දමන්නට වූවාය.
හාමුදුරුවෝ විස්මයට පත්වූහ. “මොනවා!”
"පුංචම්මගෙ ගමේ හරියට බේබද්දෝ ඉන්නව. මං සිවුරු ඇරල ගෙදර එන්නම්”
මා පාවූ යළිත් කෝ සින්ගේ බිරින්දෑ වූවාය.
පරිවර්තිත කෙටිකතාව
පරිවර්තනය මහාචාර්ය උපුල් රංජිත්හේවාවිතානගමගේ
හතරමං හන්දියේ රථවාහන හසුරුවන පොලිස් භටයා සිටගෙන සිටින ස්ථානයේ ඔහු සිටගෙන නොසිටියේය. එහෙත්, ඔහු සිටින ස්ථානය දුටු විට කෙනකුට කිව හැක්කේ ඔහු ‘හතරමං හන්දියේ’ සිටගෙන සිටින බවය. ඔහු කිසිවකුට මඟ පෙන්වන තත්ත්වයක නොසිටියේය.
ඔහු රථවාහන හසුරුවන පොලිස් භටයා සිටින තැන සිටගෙන සිටියත් කිසිදු ‘ආශ්චර්යයක්’ සිදු වී නැත. ඔහු මේ නගරයේ නැඟී එන ‘ජන නායකයකු’ වෙමින් සිටියි. ඔහු හැමවිටම අපට මඟ කියා දුන්නේය. අපි ඔහු පෙන්වූ මඟෙහි තරමක් දුරට හෝ යමින් සිටිමු. මේ අවස්ථාවේදී ඔහු ‘හතරමං හන්දියේ’ සිටගෙන සිටියි. මේ ‘අවාසනාවන්ත දේශයේ’ දේශපාලනයේ ස්වභාවය පිළිබිඹු කරන ‘සංකේතයක්’ සේ ඔහු සිටගෙන සිටියි.
“මෙතැන හිටගෙන ඉන්නෙ කවුරු එනකංද?” මම ඇසුවෙමි.
ඔහු සිනහ වී නිහඬ වූයේය. ඒ සමගම බරපතළ ගැඹුරු ස්වභායක් ආරූඪ කර ගත්තේය. මගේ ප්‍රශ්නයෙන් ඔහු මෙතරම් ගැඹුරින් පෙළීමකට භාජන කරවීමේ කිසිදු බලාපොරොත්තුවක් මා තුළ නොවීය. කිසියම් ජන නායකයකු කරදරයට පත් කරවන මෝඩ ප්‍රශ්නයක් දැයි සිත – සිතා තවත් ප්‍රශ්නයක් මම ඇසුවෙමි.
“බුලත්විටක් කනවද?”
ඔහු හිස වැනුවේය. එය ඔහු අතින් කෙරුණේ පුරුද්දට මෙනි. ජනතාව මුණ ගැසුණු විට අසනු ලබන මෙවැනි ප්‍රශ්නවලට සක්‍රීය ලෙස සහභාගි වීම ඔහුගේ ස්වභාවය විය. යම් විටෙක ඔහුගෙන් “තේ එකක් බොමුද?” ඇසුවොත් හෙතෙම තේ බොයි. “බුලත්විටක් කමුද?” ඇසුවොත් එයටද එකඟ වෙයි.
බුලත්විටක් මගේ මුවෙහි තිබිණි. මා නැඟූ මුල් ප්‍රශ්නය ඔහු ඉදිරියෙහි තිබිණි… “කවුරු එනකංද මෙතැන බලාගෙන ඉන්නෙ?”
එක්තරා කාලයකදී මේ පුද්ගලයා “සමාජවාදය” එනතුරු බලාපොරොත්තුවෙන් සිටියේය. ඉන්පසු “පූර්ණ විප්ලවයක්” බලාපොරොත්තුවෙන් සිටියේය. මෙසේ සිටගෙන සිටින ඔහු වියළී යන ආකාරයත්, එසේ වියළී යමින් ඔහු දලුලමින් මලින් – පලින් බරවී යන ආකාරයත් මේ නගරය දුටුවේය.
මතවාද, අරමුණු, සිද්ධාන්ත, තර්ක, බලාපොරොත්තු කඩවීම් යනාදී චක්‍රව්‍යුහයන්හි ඉතා දිගු ගමනක යෙදුණු පසු, අද මගේ මේ මිත්‍රයා නැවතත් “හතරමං හන්දියේ” සිටගෙන සිටියි. ඔහු මගෙන් බොහෝ වාරයක් බුලත්විට කෑවේය. මැතිවරණ කිහපයකදීම මගේ ඡන්දය ඔහු ගිල දැමුවේය. දිගින් දිගටම එයම සිදුවූයේය. අවාසනාවන්තයා “පුදුම සත්ත්වයකු” වී ඇත්තා සේය.
“කොහේ යන්නද කියල මට තේරෙන්නෙ නෑ” ඔහු කීවේය.
“මොකක්ද කිව්වෙ?” මම ඇසුවෙමි.
නැවතත් ටික වේලාවකින් ඔහු මෙය තමාගෙන්ම අසා ගත්තා සේය. “ඉන්දිරා කොංග්‍රස් එකට යන්නද?”
“දැන් ඔබතුමා මේ වෙනකං මොන පක්ෂෙද හිටියෙ?”
“ස්වර්ණසිංහ්ගෙ කොංග්‍රස් එකේනෙ හිටියෙ.”
“හැබෑට! කවුරු හරි කියනව ඇහුණ. ඔබතුමා ජනතා පක්ෂෙ හිටියයි කියල!”
“ආ… ඒ මාස තුනකට ඉස්සෙල්ල කතාවක්නෙ.”
ඔහු සිනාසෙමින් මා දෙස බලන්නට වූයේ මගේ අඥානකම සහ වර්තමානයෙන් මා කොතරම් පසුපසින් සිටින්නෙකු දැයි යන්න උපහාසයට ලක් කරන්නා සේය.
“ඒ ‘කතාව‘ ඉවර වෙලා දැන් කොච්චර දවස්ද? හැබෑට ඔහේ ඉන්නෙ මේ ලෝකෙ නෙවෙයිද සහෝදරය?”
මම ලැජ්ජාවට පත්වූයෙමි. වර්තමානයේ සිදුවන දෑ ගැන අවදියෙන් සිටින පුරවැසියකු ලෙස මේ කරුණ සම්බන්ධයෙන් එනම්, පළාතේ “දේශපාලකයන්” නිරන්තරයෙන්ම “පක්ෂ මාරු කරමින් සිටීම සම්බන්ධයෙන් මා දැන සිටියේ නැත. මේ වර්තමාන තොරතුරු සම්බන්ධයෙන් අප නිතරම විමසිල්ලෙන් සිටිය යුතුය.
“මං ටික දවසකට නගරෙන් පිට ගිහින් හිටියනෙ” සමාව ඉල්ලන විලාසයෙන් මම කීවෙමි.
“මේ ප්‍රවෘත්තිය ඉන්දියානු ජාතික පත්තරවල පළ වුණා. ඒ කියන්නෙ ඔහේ පත්තර කියවන්නෙත් නෑ.” ඔහු කීවේය.
ටික වේලාවක් යනතුරු අපි දෙදෙනාම මේ “විහිළුවත්” සමඟින් බුලත්විටක රස වින්දෙමු.
“මට දැන් මොකද්ද කරන්න වෙන්නෙ කියල කිව්වනං. ඉන්දිරා කොංග්‍රස් එකට යන්නද?” ඔහු මගෙන් ඇසුවේ, තමන්ගේ මුළු දේශපාලන අතීතයම බුලත් කෙළ පහරත් සමඟ පොළොවට විදින්නා සේය.
“යන්න..! යන්න..! ඒ පක්ෂෙට යන එක තමයි මේ කාලෙ පැෂන් එක!”
“හ්ම්… මගෙ හිත කියන විදිහට නං මට යන්න වෙන්නෙ සෙකියුලර් ජනතා පක්ෂෙටයි.”
“හොඳයි, එහෙනං ඒ පක්ෂෙට යන්නකො!” මම කීවෙමි.
“අද මේකෙ දෙකෙන් එකක් හොඳට තෝර ගන්න ඕනැ. මොන පක්ෂෙටද එකතු වෙන්නෙ කියල.”
“ඇත්ත, ඊළඟට ඡන්දෙ එනවා. ඊට පස්සෙ පක්ෂෙ වෙනස් කරන්න බැරි වෙයි.”
“හ්ම්…”
ඔහු තවමත් අවිනිශ්චිතව සිටින බව මම දුටුවෙමි. දේශපාලන පක්ෂ ගැන මෙතරම් වේලාවක් කතා කිරීමෙන් පසුව, පුද්ගලයකු කුමන හෝ පක්ෂයක් තෝරා ගත යුතුය. මම ඔහු පසු කරමින් ඉදිරියට ගියෙමි. වේලාව උදෑසන දහයට ආසන්න වෙමින් තිබිණු අතර, දන්නා හඳුනන පුද්ගලයකු මුණ ගැසීමට මට යෑමට තිබිණි. ඔහු නිවෙසින් නික්මෙන්නට පෙර ඔහුගේ නිවෙසට යෑමට මට වුවමනා විය.
දහවල් දෙක පමණ වෙද්දී මම හතරමං හන්දිය පසු කරමින් සිටියෙමි. ඔහු පෙර පරිදිම එතැන සිටගෙන සිටියේය. හතරමං හන්දියේ හෝටලයකදී කිසිවකු විසින් ඔහුට දිවා ආහාරය සපයා දෙනු ලැබ තිබිණි. ඔහු වේවැල් කූරකින් දත් හාරමින් සිටියේය. මා දුටු විගසම ඔහුගේ හැඟීම් සලිත වී ගියේය.
“දැන් ඉතින් මොකෝ කළේ ඔබතුමා?” මම ඇසුවෙමි.
“මං ඉන්දිරා කොංග්‍රස් පක්ෂෙ කාර්යාලෙට ගිහිනුයි ආවෙ. මං කිව්ව මං ඒගොල්ලොත් එක්කයි ඉන්නෙ කියල.”
“හොඳයි… හොඳයි…”
“ඒ වුණාට මිත්‍රයා, ජනතා පක්ෂෙටත් තාම බලයක් තියෙනව. ජග්ජිවන්රාම් ලේසිපාසු කෙනෙක් නෙවෙයි.”
“ඇයි, මේක ගැන මොකක් හරි සැකයක් තියෙනවද?”
“මං හිතන්නෙ, මේ වෙලාවෙ ජනතා පක්ෂෙට ගියෝතින් මට ලොකු ගෞරවයක් ලැබේවි. මං කියනව “රටේ තත්ත්වය ගැන බොහෝම ගැඹුරට හිතල මේ තීරණයට එළැඹුණා කියල වගෙ දේවල් ටිකක්.”
ඔහුට දිවා භෝජනය ලබා දුන් මිනිසා සමඟ ඔහු හතරමං හන්දියෙන් එක් දිසාවකට ගියේය. ජනතා පක්ෂ කාර්යාලය පිහිටා තිබුණේ එහිය.
මම පුදුමයෙන් ඔවුන් යන දෙස බලා සිටියෙමි. නැගී ආ හිරු තවම බැස ගියේ නැත. ඒ පුද්ගලයා “වෙනත් පක්ෂයකට” ගියේය.
හිරු බැස ගියේය. මගේ මිතුරකුට මේ කතාව කියමින් “කොෆී හවුස්”හි වාඩි වී කෝපි බිව්වෙමි. මෙවැන්නක් සිදුවන්නට පුළුවනි දැයි කිසිවකුට පුදුමයක් ඇති නොවෙයි. එහෙත්, ඔවුන් සියලුදෙනාම තොරතුරු දැනගැනීම අතින් මට වඩා බොහෝ ඉදිරියෙන් සිටියෝය. අපි එළියට පැමිණ ටික දුරක් ඉදිරියට ගියෙමු. එක් වරම “අර පුද්ගලයා” චරණසිංහ්ගේ ජනතා පක්ෂයේ ජීප් රථයකින් එළියට බසින අයුරු දක්නට ලැබිණි. මම පුදුමයෙන් ඔහු දෙස බලා සිටියෙමි. මගේ ඇස් ඔහුගෙන් “ප්‍රශ්න” කළේය, ඔහුද ඇස්වලින්ම “පිළිතුරු” දුන්නේය.
“මේ විදිහට එකම දවසක “පක්ෂ තුනකට” මාරු වෙන කෙනෙක් දැක්කම මහ අවුලක්නෙ වෙන්නෙ. හෙට ඉඳන් හැම පක්ෂයක්ම කියාවි ඔබතුමා ඒ අයත් එක්කයි කියල.” මම ගැටලුවක් ඉදිරිපත් කළෙමි.
“කියපුදෙං! ඉතින්… මොනව වෙන්නද අන්තිම මොහොතෙ තමයි තීරණය කරන්නෙ මං මොන පක්ෂෙන්ද ඡන්දෙ ඉල්ලන්නෙ කියල.” ඔහු පිළිතුරු දුන්නේ නොසැලකිල්ලෙනි.
“දේශපාලනය කොතරම් ඉදිරියට ගොස් ඇද්ද” යන්නත්, සැබැවින් මා වර්තමානයට කොතරම් “පසුපසින්” සිටින්නකුද යන්නත් මට අවබෝධ වන්නට වුණේය.
රාත්‍රි චිත්‍රපට දර්ශනය නරඹා මම ආපසු එමින් සිටියෙමි. ඔහු තවමත් “හතරමං හන්දියේ” සිටගෙන සිටියේය. උදෑසන හිරු නැඟෙන තෙක් කිසියම් “අවසන්” තීරණයකට එළැඹීමේ බලාපොරොත්තුවක් ඔහු තුළ නොවීය. ඔහුගේ කල්පනාවට “බාධා” නොකළ මම හෙමින් – හෙමින් ඉදිරියට ඇදුණෙමි.
එය ජුනි මාසයේ පැහැදිලි උදෑසනකි. විශාල වඳුරෙක් උන්හිටි හැටියේම ගමට පාත් විය. උෟ රංචුවෙන් අෑත් වූ හුදෙකලා වඳුරෙක් විය. රංචුවේ අනෙක් වඳුරන් ගැන හෝඩුවාවක් හෝ දක්නට නොවීය. අපේ ප්‍රදේශයේ වඳුරෝ දුර්ලභයහ. කොතරම් දුර්ලභද කියතොත් හදිසියේ වඳුරකු දක්නට ලැබුණොත් ගම්මු හැමදෙන කුතුහලයෙන් ඇවිස්සෙති.
මේ වූකලී අවුරුදු දහයකට හෝ ෙදාළහකට පමණ පසු වඳුරකු ගමට පාත් වුණු අවස්ථාවයි. උෟ කෙසේ, කොහි සිට ආවේ දැයි කිසිවෙක් නොදත්තේය. උෟ තම ලෝම සහිත වලිගය පවන් සලන්නට මෙන් ඔසොවාගෙන කෙළින්ම හනුමන් කෝවිලට පැන කෝවිල ඇතුළේ ටික වේලාවක් ලැග වහලට පැන්නේය. ඉන්පසු උදා හිරු රැස් පහස විඳීමට මෙන් කෝවිල් ශිඛරය මස්තකයෙහි හිඳගෙන උගේ දිගු වලිගය හෙමිහිට දෙපසට වනන්නට විය.
කෝවිලේ කපුරාල වූ පණ්ඩු වාසය කළේ කෝවිලට නුදුරු නිවෙසකය. පණ්ඩු ඒ මොහොතෙහි නිවසෙහි නොවීය. ඔහු තම ගවයාට තණ කැවීම සඳහා කුඹුරට ගෙන ගොස් සිටියේය. එහෙත් ඔහුගේ භාර්යාව ඇස් විදහාගෙන මේ ආශ්චර්යය නරඹමින් සිටියාය. වානර දෙවියෝ ගමට වැඩල! ඒ විතරක් නෙමෙයි, දැන් කපුරාලගෙ කෝවිලටම ඇවිල්ල! කපුරාල වහාම මේ වග දැනගත යුතුයි. කපුරාලගේ භාර්යාව කුඩා දරුවා උකුලේ රුවාගෙන තම සැමියා සොයා ගියාය.
පාසල පිහිටා තිබුණේද හනුමන් කෝවිලට සමීප ඉඩමේය. දඟකාර පාසල් ළමයින් පිරිසක් ගල්ලෑලි පොත් සහිත තම පසුම්බි ඒ මේ අත වනමින් පිම්මේ දුවගෙන අවුත් පාසලට ඇතුළු වන පඩිපෙළ මත වාඩිගත්හ. පාසල පටන් ගැනීමට තව කල් තිබේ. ගුරුතුමා ඒ වන විටත් උදේ තේ පානය කොට නොතිබිණි. ළමයින්ට පාසලෙන් පිටත සිටීමට සිදු වූයේ එහෙයිනි.
ටැලිපෝන් කම්බියක වැසූ වී කුරුලු රෑනක් මෙන් පඩිපෙළ මත රොක් වී සිටි ඔවුන්ගේ නෙත්වලට හිරු රැසින් දිලිසෙන කෝවිල් ශිඛරයත්, ඒ මත වාඩිගත් අමුත්තාත් යොමු විය. ඔවුන්ගේ සිත්සතන් පුදුමය, විනෝදය, බය, කුතුහලය ආදී විවිධාකාර හැඟීම් විසින් වෙළාගනු ලැබීය.
මස් කඩකාරයාගේ පුතා ධෛර්යය උපදවාගෙන තරමක් ඉදිරියට ගොස් වඳුරා ප්‍රකෝප වන අයුරින් තම මුක්කන් නැහැය කසන්නට විය. එවිට අනෙක් ළමයිද කෑකෝ ගසමින් වඳුරාට උසුළු විසුළු කරන්නට පටන් ගත්හ. වඳුරාද ළමයින් දෙස බල බලා දත් විළිස්සමින් ඔවුන්ගේ උසුළු-විසුළුවලින් බේරෙන්නට මෙන් එහාට මෙහාට පනින්නට විය.
මස් කඩකාරයාගේ පුත්‍රයා ගලක් අහුලාගෙන වැරෙන් වඳුරාට ගැසුවේය. එය හරියටම උගේ පිටට වැදිණි. වඳුරා යාරයක් පමණ උඩ පැන වේදනාවෙන් කෑගසමින් කෝවිලේ වහලේ සිට අසල වූ නුග ගසට පැන එහි මුදුන් අත්තට වී හිඳ ගත්තේය. ඉන්පසු ගහ යටට රැස් වූ ළමයිනට විළිස්සන්නට විය. කලබලයට පත් ළමයිද තරඟයට මෙන් නුග ගහ මුදුනට ගල් ගැසීමට පටන් ගත්හ. එහෙත් උෟ නුග අත්තක දෙබලක වාඩි වී විටෙක පහත බලමින්ද, විටෙක වටපිට බලමින්ද නුග දලු හපන්නට වූයේය.
මේ අද්භූත සිද්ධිය පිළිබඳ ආරංචිය පණ්ඩුගේ කන වැකුණු වහා ගෙදර දුව ගොස් පාන් කැබලි කීපයකුත් රැගෙන නුග ගස යටට පැමිණියේය. ඔහු ළමයිනට බැන වැදී එකකුට හෝ දෙන්නකුට පහරවල් දෙක තුනක් දී ඔවුන් එතැනින් එළවා දැම්මේය.
“දුවපියව්, පවුකාරයො, උඹලට ලැජ්ජ නැද්ද හනුමන්ට ගල් ගහන්න? උඹලට මොන වැරැද්දක් කළාටද හනුමන්ට ගල් ගහන්නෙ?”
ළමයි අෑතට දුව ගොස් පණ්ඩුට බැන වදින්නට පටන්ගත්හ. ගමේ කොයි කවුරුන් අතරත් ප්‍රචාරය වී තිබුණ, ඔහුගේ නොපනත්කම් ගැන විහිළු කරමින් ඇතැමෙක් කෑගැසූහ.
පණ්ඩු පාන් කැබැල්ලක් වඳුරා දෙසට දිගු කරමින් උෟ බිමට බැස්සවීමට මහත් උත්සාහයක් ගත්තේය.
“අනේ හනුමන්, කරුණාකරල බිමට බහින්න මේ පාන් කෑල්ල කන්න!”
වඳුරා එය ගණනටවත් නොගෙන දිගටම නුග දලු කන්නට විය.
කුඹුර දෙසට යමින් සිටි අබාජි ටිකක් නතර වී මේ සිද්ධිය බලාගෙන සිටියේය. ඔහු හිස වනා නිකටට අත තබා ගත්තේය. සෙනසුරාදා දිනෙක හනුමන් පාන් කනු තබා ඊට අතවත් නොතබන බව කුඩා දරුවෙක් වුවද දනී.
“අද කවදද පණ්ඩු?” ඔහු ඇසීය.
“අද සෙනසුරාදනෙ අබාජි”
“එහෙනම් ඔය හනුමන්ට පාන් දෙන්න හදන්නෙ?”
“හරි, හරි, දෙයියන්ට ඔප්පු වෙච්චාවෙ, මට මතක නැති වුණා”
අබාජි වූකලී ශක්තිමත් මහල්ලෙකි. ඔහු රාම, හනුමන් වැනි දෙවිවරුන්ට කැප වූ වාර්ෂික උත්සවවලදී ප්‍රධාන තැනක් ගෙන ක්‍රියා කරයි. තම ගෙදරද බොහෝ විට ආගමික උත්සව පවත්වයි; නිතර වන්දනා ගමන්වල යෙදෙයි. එහෙයින් ඔහු ගමේ කොයි කවුරුන් අතරත් ගෞරවාදරයට පාත්‍රව සිටින වැඩිහිටියෙකි.
මහලු මිනිසා කී වදන් පණ්ඩු හොඳ හැටි තේරුම් ගත්තේය. ඔහු වහා ගෙදර දුව ගොස් රට කජු ඇට අහුරක් ගෙනැවුත් නැවතත් වඳුරාට දිගු කෙළේය.
“ඕ, හනුමන්, කරුණාකරල පහළට බහින්න! මේ රට කජු ඇට ටික කන්න!”
වඳුරා එවර යම්තම් ඔහු දෙස බැලුවා පමණි. උෟ සුදු පාට ඇසිපිය වේගයෙන් හෙළමින් දිග කළු පාට ඇඟිලි තුඩුවලින් කිහිලි කැසුවේය; ඉන්පසු නුග දලු අහුරක් සූරාගෙන කට පුරවා ගත්තේය.
වඳුරාගේ උදාසීනත්වයෙන් අධෛර්යයට පත් පණ්ඩු මහලු මිනිසා දෙසට හැරී, “මගේ පව්කාරකමටද මං දන්නෙ නෑ හනුමන් ගණනකටවත් ගන්නෙ නෑ! බලන්න උඹවත් කතා කරල බලපං”යි පැවැසීය.
අබාජි රට කජු අහුර ගෙන “ඕ හනුමන්, මං ඔබවහන්සේගෙ දාසයගෙත් දාසය! මගෙ ශ්‍රද්ධාවට, භක්තියට නිගා නොදෙනු මැනවි! කරුණාකර මේ රට කජු ටික ගනු මැනවි”යි කීවේය.
අබාජි තමා දන්නා හැම අයුරකින්ම වඳුරා පෙලඹවීමට මහන්සි ගත්තේය. දේව කතාවල සඳහන් හැම ආමන්ත්‍රණ පදයක්ම භාවිත කළේය. අන්තිමේදී වඳුරා බිමට බැසීමට සැරසෙන බවක් පෙන්නුම් කෙළේය.
ඒ වන විට විශාල පිරිසක් නුග ගස වටා රැස් වී සිටියහ. වඳුරා හුන් තැනින් නැඟිට පහතට බැසීමට පටන් ගත් විට පැමිණි පිරිස අතර උදේයාගයත්, කුතුහලයත් වැඩි විය.
වඳුරා පොළොවේ සිට අඩි කීපයක් නුදුරින් පිහිටි විශාල නුග අත්ත දක්වා ක්‍රමයෙන් පහතට බැස්සේය. අබාජි සෙමෙන් සෙමෙන් වඳුරා දෙසට ගොස් දකුණතින් රට කජු ටික දිගු කළේය. උෟ පහතට නැමී කළු පාට අත් පහුරුවලින් අබාජිගේ අත අල්ලාගෙන විපරම් සහිත මුහුණින් පරීක්ෂා කෙළේය.
“කරුණාකරල, මේක ගන්න! ඇයි බය වෙන්නෙ?” අබාජි බැගෑපත් ලෙස වඳුරාගෙන් ඉල්ලා සිටියේය.
වඳුරා වහාම තම හිස පහතට ඔබා අබාජිගේ අත තදින් සපා කෑවේය. ඉක්බිති දිග වලිගය වන වනා විදුලියක බඳු වේගයෙන් ගහ මුදුනට පැන්නේය. අබාජි වේදනාව ඉවසාගත නොහී නුග ගස යටම වැතුරුණේය. රැස්ව සිටි පිරිස විසින් වහාම ඔහු නිවස තුළට ඔසොවා ගෙන යනු ලැබීය. අබාජිගේ වැඩිමාල් පුතාට මෙය විශාල පාඩුවක් වූයේ එය කුඹුරු වපුරන කාලය වූ බැවිනි. කුඹුරු වැඩ සඳහා තම පියාගෙන් ඇති වූ පුරප්පාඩුවට කෙනකු කුලියට ගැනීමට ඔහුට සිදු විය.
වඳුරා අබාජිගේ අත සපා කෑමෙන් පසු රැස්ව සිටි පිරිස අතර එක්තරා කසුකුසුවක් පැතිරී ගියේය. එනම්, මේ වයසක මිනිසාත් ඔහුගේ ලේලිත් අතර අනියම් සම්බන්ධයක් පැවැති බවට පැතිර තිබුණු කතාවයි. මේ කතාව සැබෑ විය යුතුය. නොඑසේ නම් වඳුරා ඔහුගේ අත සපා කෑවේ ඇයි? ඉන්පසු කිසිවකු වඳුරාට රට කජු දෙනු වස් ඉදිරිපත් වීමට කැමැත්තක් දැක්වූ බවක් නොපෙනිණි. එහෙත් බොහෝ කලෙකට පසු ගමට වැඩම කළ හනුමන්ට නිරාහාරව සිටීමට ඉඩ දිය නොහැකිය. පණ්ඩු කපුරාලට නම් නිහඬව සිටීමට කොහෙත්ම නුපුළුවන. එහෙයින් හේ වඳුරාට රට කජු දීමට තම අට හැවිරිදි දියණියට නියම කෙළේය.
“ඕ හනුමන්, මේ දැරිවි පව් කියන ජාතිය මොනවද කියලවත් දන්නෙ නැහැ! ඒ නිසා ඔබ වහන්සේ ඇප උපස්ථාන කරන්න සුදුසු එකම තැනැත්ති මේ දැරිවියයි”
දැරිය තම කුඩා අතින් රට කජු අහුරක් ගෙන ගහ ඉදිරියෙන් සිටගත්තාය. වඳුරා කිසිදු පැකිළීමක් නැතිව ගසෙන් බැස දුවගෙන අවුත් දැරියගේ බත් කෙණ්ඩ සපා කා අසල තිබුණු දිවුල් ගසට නැංගේය. පණ්ඩුගේ බිරිය පපුවට ගසාගනිමින් වඳුරාට දෙස් දෙන්නට වූවාය. පණ්ඩු වහාම දැරිය ඔසොවාගෙන වෙදකු සොයා දුව ගියේය.
මේ සිද්ධිය සම්බන්ධයෙන්ද කසුකුසුවක් පැතිරිණි.
“කපුරාලගෙ විතරක් නෙවෙයි කපු හාමිනේගෙත් චරිතෙ හොඳ නැහැ. ඉතින් වඳුර දැරිවි හපා කෑවයි කියන එකේ පුදුමයක් තියෙනවයැ”
දැන් මුළු ගම්මානයටම විසඳිය නොහැකි ප්‍රශ්නයකි. වඳුරාට අහර ටිකක් දෙන්නේ කෙසේද? මිනිස්සු බුලත් මඩිස්සල් දිග හැරගෙන කණ්ඩායම් වශයෙන් තන්හි තන්හි වාඩිවී ප්‍රශ්නය ගැන සාකච්ඡා කරන්නට වූහ.
මේ අතරතුරේදී වඳුරා දිවුල් ගසෙන් මාරුවී කම්මල්කාරයාගේ නිවෙස සමීපයෙහි ඇති නුග පැළයට නැංගේය. කම්මල්කාරයා කට පුරවාගෙන සිටි බුලත් හපය ඉවත දමා තම බිරිය සිටි තැනට ගියේය. ඈ අතදරුවා නාවමින් සිටියාය.
“මේ ඇහුණද, මට රට කජු ටිකක් දුන්නොත්! හනුමන් අපේ ෙදාරකඩටම ඇවිල්ල!” හේ පැවැසීය.
“ඔහෙට පිස්සු වැහිලද? වඳුර ඕන දිවියලෝකෙක ගියාවෙ! ඔහෙගෙ වැඩක් ගැන බලාගන්නව”
“ඒ වුණාට අපේ ගේ ළඟටම ආපු එක හොඳයැ අහක බලාගෙන ඉන්න? මොනව හරි කන්න ටිකක් දෙන්න එපායැ!”
කම්මල්කාරයා කළ වැඩවලට ගාස්තු වශයෙන් ලැබුණු රට කජු ගෝනියක්ම ගෙදර මුල්ලක තිබුණේය. තම බිරියගේ අවවාදය නොසැලකූ ඔහු රට කජු අහුරක් ගෙන ගොස් වඳුරාට දිගු කෙළේය. වඳුරා ඔහුද සපා කෑවේය. දැන් ගමේ සිටි එකම කම්මල්කාරයාත් ලෙඩ ඇඳේය. ආයුධයක් තැනීමට හෝ කරත්ත රෝදයක් අලුත්වැඩියා කිරීමට හෝ කෙනෙක් ගමේ තවත් නැත.
ඉක්බිති මේ තරබාරු වඳුරා ගම දෙවනත් කරන්නට පටන් ගත්තේය. දැන් දැන් උෟ වඳුරකුට නොව පිස්සු බල්ලකුට සමානය. අසලින් යන එන කාටත් ගොරව ගොරවා සපා කෑමට පනියි. මෙතෙක් ඉවසා සිටි අබාජිගේ වැඩිමාල් පුත්‍රයාට තවදුරටත් ඉවසා සිටිය නොහැකිය. ඔහු සෑහෙන ප්‍රමාණයේ ගල්කැට රැසක් එකතු කරගෙන වඳුරා සිටි ගස ළඟට ගියේය. වඳුරා මුලින් ඔහුටද කඩා පැනීමට සැරසුණු නමුදු එක පිට එක ගලා ගිය ගල් වර්ෂාවට මුහුණදීමට අපොහොසත් වූයේය. අන්තිමේදී උෟ ගහෙන් කුඹුරට පැන දුවන්නට පටන්ගත්තේය.
අබාජිගේ පුත්‍රයා එතැනින් නතර නොවීය. ගල් කැටවලින් පහර දෙමින් දිගටම උෟ පසු පස එළෙව්වේය. අතරමඟදී ගල් මුගුරු රැගත් තවත් ගැටවර පිරිසක්ද ඔහුට එකතු වූහ. වඳුරා සෑහෙන වෙලාවක් පසුපස එළවන්නන්ගෙන් බේරී ගත්තේය. එහෙත් සැතපුම් දෙක තුනක දුර ප්‍රමාණයක් ගෙවීමෙන් පසු උෟ කෙරෙහි වෙහෙස ගතියක් දක්නට ලැබිණි. ගල් පහරවල් වළක්වා ගැනීමේලා උෟට තිබුණ ශක්තියද පිරිහෙන්නට විය. ගැටවරයන්ගේ ගල් පහරවල් එක පිට එක වැදෙන්නට වූයෙන් උෟ එතැනම ඇදවැටුණේය.
ඉක්බිති ගැටවරයන් විසින් උෟ වටකර ගන්නා ලදී. දැන් නම් බේරිල්ලක් කොහෙත්ම නැතැයි තේරුම් ගැනීමට තරම් මේ සතා ඥානවන්ත විය. උෟ යටත් වූ බව පවසන්නාක් මෙන් පිරිස දෙස අහිංසක බැල්මක් හෙළුවේය. මනුෂ්‍යයකුගේ මුහුණකින් මෙන් උගේ මුහුණින්ද හැඟීම් ඉස්මතු වී පෙනිණි.
ගමේ මුදලාලිගේ පුත්‍රයා අබාජිගේ පුත්‍රයාගේ පිටට අත තබා, “අර බලන්න, අර බලන්න උෟ හරියට වඳිනව වගේ අත් දෙක එකතු කරගත්ත! සමාව ඉල්ලනව! උෟ කියන්නෙ ජීවිතේ බේරන්න කියල!”යි කීවේය.
එහෙත් අබාජිගේ පුත්‍රයාගේ කේන්තිය නිවී නොතිබිණි. ඔහු පොල්ලක් අරගෙන වඳුරාට දිගටම තඩිබෑවේය. තවත් කීපදෙනෙක් ගල්වලින් පහර දුන්හ. එවිට සතාගේ නැහැයෙනුත්, කටිනුත් ලේ ගලන්නට විය. ටික වේලාවක් උගේ අත් පා ගැහුණේය. ඉන්පසු මුළු සිරුරම නිශ්චල විය. උගේ අත් දෙක තදින් එකට බැඳී තිබිණි. ලේ සමඟ දූවිලි මුසුවීම නිසා හිස පැලැස්තරයක් දැමූ විටෙක මෙන් දිස් විය.
එවිට අබාජිගේ පුත්‍රයාගේ ඇස්වල කඳුළු පිරී ගියේය. ඔහු විනාඩියක් පමණ ගැඹුරු සිතිවිල්ලක යෙදුණේය.
“අපි කවුරු හරි එක්කෙනෙක් මෙතන ඉන්න ඕනෑ. අනික් අය ගිහිල්ල කෛතාලම් බෙර වගේ දේවල් අරං එමු. හනුමන්ගෙ ආදාහනය හොඳට කරන්න ඕනැ”
ඔහුගේ ස්වරය සිහින් විය; මෘදු විය. මුදලාලිගේ පුතා වඳුරාගේ සිරුර දෙස අනුකම්පාවෙන් බලා “අනේ දුප්පත් සතා, අපි අතින්ම මරණෙට පත් වුණා! අපි කළේ බරපතළ වැරැද්දක්”යැයි පැවැසීය.
ඔහු වඳුරාගේ සිරුර මුර කෙළේය. අනිත් අය ආපසු ගමට ගියහ. වඳුරාගේ මරණය ගැන ඇසූ ගම්මු හනුමන්ගේ කෝවිලට ගොස් හනුමන්ගෙන් ක්‍ෂමාව ඉල්ලමින් යාච්ඤා පැවැත්වූහ.
වඳුරාගේ සිරුර යාතිකා, ගායනා හා වාදන මධ්‍යයෙහි ගරුසරු ලෙස ආදාහනය කරන ලදී.
මේ සිද්ධිය සම්බන්ධයෙන් අබාජි බෙහෙවින් ශෝකයට පැමිණියේය. ඔහු තම අතේ තුවාලය සනීප වූ පසු වඳුරා මරුමුවට පත් වූ තැන ස්මාරකයක් ඉදි කෙළේය.
දැන් මේ ස්ථානය සිද්ධස්ථානයකි. ආගම් භක්තිය ඇත්තෝ යන එන සෑම විටකම හනුමන් සිහි කර නමස්කාර කරති.
ඒ අතුරු පාරේ දෙමහල්, තෙමහල් නිවෙස් පවා තිබිණි. ඒවායේ වාසය කළ වුන් අතර ෙදාස්තරලාද, පෙරකදෝරුවෝද වෙනත් ඉහළ නිලධාරීහුද වූහ. එහෙත් ඉන්න හිටින්න තැනක් නැති සිවප්පිටත් ඇගේ පුත් සෝනයියාටත් ජීවත්වීමට තම මඩුවේ හෝ ඉඩක් ලැබුණේ විශ්‍රාමික උප ලේකම් සුප්පු අයියර්ගේ ගෙදරිනි. එය ලැබුණේද ඔහුගේ භාර්යාවගේ කරුණාවන්තකම නිසාය.
සිවප්පිලාට අව්වෙන් _ වැස්සෙන් බේරී ඉන්නට ඒ ගව මඩුව සෑහිණි. ඊට හිලව් වීමට ඇය දිනපතාම ගව මඩුව පිරිසුදු කර දුන්නාය.
දහවල් කාලයේ සිවප්පි දරු පැටියාත් ඉණේ රුවාගෙන පාර අයිනේ දර මඩුව ළඟ සිටිනු දැකිය හැකිය. ඇය එතැන රැඳී සිටින්නේ කවුරුන් හෝ දර මිලදී ගත් විට ඒවා ගෙදරට ගෙනගොස් දී කීයක් හෝ උපයා ගැනීමටය.
දර මිටියක් ගෙන යෑමට සිදු වූ වහාම ඇය කරන්නේ මුරුක්කුවක් අරන් දී දරුවා බිම තැබීමය. දරුවා එතැනම හිඳ අම්මා දර මිටියද හිස තබාගෙන දුවන්නාක් මෙන් ඇවිද යන හැටිත් එසේ යන ගමන් පසුපස හැරී තමාට සිනාවක් පාන හැටිත් දකින්නේය. මව ආපසු දුව එන විට දරුවා මුරුක්කුව අතේ තියාගෙන ඇයට හිනාවක් පාන්නේය. ඇය ආ හැටියේම දරුවා වඩා ගන්නීය.
මේ තරම් සුළු වෙන්වීමක් පවා දරා ගැනීමට මේ මවට නොහැකි සේය. දරුවා එතෙක් නොකා අතේ තබාගෙන සිටින මුරුක්කුව මවගේ මුවෙහි තබන්නේය. ඇය ඉන් කුඩා කෑල්ලක් කඩාගෙන වැඩි හරිය දරුවාගේ මුවෙහි තබන්නේ “පුතා කන්ඩකෝ”යි කියමිනි. දරුවා එය කන්නේ ඉන් පසුය.
දර ඇදීමේ රස්සාව නැති දවස්වල ඇය කරන්නේ කඩවලට ගොස් ධාන්‍ය පොළා දීමය. නැත්නම්, හැම ගෙදරකටම වාගේ ගොස් වැඩකට – පළකට උදවු වීමය. ඒවායින් ලැබෙන කීය _ කීය හෝ මිට මොළවාගෙන ආපසු ඒමය. එහෙත් තමාට නවාතැන් දී ඇති සුප්පු අයියර් හාමිනේ ඉඳහිට හෝ දෙන මුදල නම් ඇය කිසිසෙත් නොගන්නීය. ඒ වෙනුවට ඉතිරි වන බත් හා වෑංජන නම් ඇය එපා නොකියන්නීය.
සුප්පු අයියර් ගෙදරින් ඇය විශේෂයෙන් බලාපොරොත්තු වන දෙයක් වෙයි. ඒ ගෙදර බත් උයන විට පෙරා ඉවත් කරන කැඳ ටිකයි. ඇය ඒ කැඳට පෙරේතය. කොපමණ බිව්වත් ඇගේ පෙරේත ගතිය නෑරෙන්නේ ඒ කැෙ¼ඳ් ඇය ආසා කරන අමුතු රසයකුත්, සුවඳකුත් ඇති නිසාය. ඊට හේතුවද ඇය සොයා ගත්තාය. එහි එන්නේ ගමේ නැවුම් වී ය. කොතැන මොන වැඩේ තිබුණත් ඇය දහවල් දහය එකොළහ වන විට බෙලෙක් ටින් එකද අතැතිව අයියර්ගේ කුස්සි ෙදාරකඩ පඩිය මත රැඳී සිටින්නේ ඒ නිසාය.
සවස් කාලයේ ඇය පාරේ කෙළවර ගහ යට ළිප් ගල් තුනක් තබා බත් හැළියක් පිස ගන්නීය. බත් කෑ පසු මවත් දරුවාත් දෙදෙනාම ගව මඩුවට වී නිදාගන්නෝය.
ගෙයි පිලේ හාන්සි පුටුවේ ඇල වී තල් කොළ පවන්පතින් පවන් සලා ගනිමින් සිටින සුප්පු අයියර් බෙලෙක් ටින් එකේ හඬ ඇසුණු හැටියේ ගෙතුළට හිස හොවා “ආං ඔහෙ හදාගත්ත දරුවො ඇවිල්ලා!”යි කියන්නේය.
සුප්පු අයියර් සිවප්පිට කැමැති නැත. හේතුව තම බිරිය ඇයට අනුකම්පාව දැක්වීමය. ඔහුගේ අමනාපය පිටවන්නේ සෝනයියාටය.
“ඇයි කොලුවො අවුරුදු හතරක් වෙලත් හැම තිස්සෙම අම්මගේ උකුලට වෙලා ඉන්නේ? අම්මා එක්ක දර ඇද්දම මොකද වෙන්නෙ? හෙට ඇවිදගෙන නාවොත් හොඳ වැඩක් කරන්නංකො”
සිවප්පි ඒ වචන ටික පිළිගන්නේ අයියර් හාමු තම දරුවා හුරතල් කරන්නට කියන දෙයක් මෙනි. එවිට සතුට නිම්හිම් නැති වී ඇය දරුවා ඉඹ ගනියි.
ඒ අතර අයියර් හාමිනේ පැමිණ සිවප්පි අල්ලාගෙන සිටින බෙලෙක් ටින් එකට කැඳ වත් කරයි. සුප්පු අයියර් හාන්සි පුටුවෙන් නැ¼ගිටිමින් යළි හිඳ ගනිමින් එදෙස තියුණු ලෙස බලා සිටින්නේ කැඳ වතුරක් සමඟ බත් ඇටයක්වත් වැටේදැයි සැකයෙනි. බැරි වෙලාවත් බත් ඇටයක් වැටුණොත් බිරියට බේරුමක් නැත. තම පියා කෑමට දෙයක් නැතිව කුසගින්නේ හිටිය හැටිත්, පරම්පරාවේ වංහුං ටිකත් ඇයට මදි නොකියන්නට අසාගත හැකිය.
“අර මොකක්ද එක ගොඩට වැටුණෙ?” අයියර් එකවරම ඇසුවේය. බිරියට කේන්ති ගියේය.
“ඕක මහත්තයට පෙන්නපං අත දාල බලන්ඩ! මේ ගෙදර දේපළ දන් දුන්නනේ! මෙයා ඒක අල්ල ගත්තනේ!” ඇය ආපසු කුස්සියට යන්නේ එසේ කියවමිනි.
“හාමු මොකවත් නෙමේ, නිකං කැඳ යොදේ” කියූ සිවප්පි යොද කෑල්ල ඇඟිල්ලෙන් ගෙන අයියර්ට පෙන්වා ඉවත විසි කළාය.
“මෝඩි ඒක විසිකෙරුවෙ ඇයි? ඒකනේ වටිමින් බී!”
“ඒ මොකවත් මට එපා හාමු!” සිවප්පි ආපසු ගියේ එසේ කියමිනි.
“මීට පස්සෙ කැඳ පෙරන්ඩ එපා! ඒකෙනේ ඔක්කොම හයිය තියෙන්නෙ” අයියර් කුස්සියට ඇසෙන්නට කීවේය.
“ඔය තියෙන හයිය මදෑ!” ඊට පිළිතුරු ආවේ කුස්සියෙනි.
සිවප්පි යනු සාගතය නිසා රාමනාදපුරම් ජිල්ලාවෙන් රැකියාවක් සොයා මදුර පුරයට ආ තැනැත්තියකි. කළු පැහැ හැඩිදැඩි ඇයට නාගරිකයන් පුදුමයට පත් කරවන ආකාරයේ රුවක් විය. ඇයට සැපවත් ජීවිතයක් ගත කිරීමට ලැබුණා නම් පුරාණ වීර කාන්තාවන් මෙන් ඇවිද කුල්ලෙන් ව්‍යාඝ්‍රයන් පන්නන්නට ඉඩ තිබිණි.
එහෙත් අෑ දැන් කුල්ලෙන් වී පොළන ගැහැනියක වී සිටියි. ඇය දැන් කරන්නේ තමාද රැකී කුරුප්පයියා නමැති තම සැමියාගේ හැඩරුව ඇති කුඩා සෝනයියා ජීවත් කරවීම පමණි. අතදරුවාද බිරියද හැරදා උතුරු පෙදෙසට ගිය කුරුප්පයියා පසුගිය හය මාසය මුළුල්ලේම ඇයට දකින්නට ලැබුණේ නැත.
පසුදා සිවප්පි කැඳ ටික ලබා ගැනීමට අයියර්ලාගේ කුස්සිය පැත්තට ආවාය. එදින අයියර් හාමුගේ උපන් දිනය බව ඇය දැන නොසිටියාය.
නිවෙසට අමුත්තෝ පැමිණ සිටියහ. අයියර් හාමිනේ ඔවුන්ට සංග්‍රහ කරමින් සිටි බැවින් සිවප්පිට කැඳ ටික ඉල්ලා ගැනීමට එතැන රැඳී සිටින්ට සිදු විය. එහෙත් පමාව නිසා ඇය ආපසු මඩුවට ආවාය.
දරුවා සිවප්පිගේ උකුළේ රැඳී සිටියේ බඩගින්නේ දඟලමිනි. සිවප්පි ඔහු සනසන්නට සෙල්ලම් පෙන්වමින් සිනාසෙමින් ගව මඩුව ළඟ ගහ යට හිඳ ගත්තාය.
“කෝ තාත්ත?” ඇය දරුවාගේ නිකට අල්ලා ඔහු හුරතල් කළාය.
“තාත්ත ගියා!” දරුවා කීවේය.
“තාත්ත කවද්ද එන්නෙ?”
දරුවා ඇගේ ඉණෙන් බැස පාර අයිනට ගොස් දෙපැත්ත බැලුවේය. ආපසු මව ළඟට පැමිණි ඔහු “අම්මෙ, තාත්ත නෑ!”යි කියමින් දෑතම නොපිට හැරෙව්වේය.
“හෙට තාත්ත එයි! පුතාට ඇඳුම්, සීනිබෝල මුරුක්කු අරන් එයි! අපි අපේ ගමට ගිහිං ගෙදර ඉම්මු!” එසේ කියන විටම ඇයට ගොත ගැසිණි. ඇස්වල කඳුළු පිරිණි.
මෙවිටම අයියර් හාමුගේ ගේ ඉදිරිපිට ඉඳුල් කොළ වැටෙන හඬ ඇසිණි.
“අම්මෙ කැඳ!” දරුවා කලබල කරන්නට වූයේය. ඔහු යළිත් ඉණේ ගසා ගත් සිවප්පි බෙලෙක්කය අතට ගෙන ආපසු අයියර් හාමුගේ ගේ දෙසට ගියාය.
කෑම කා අවසන්ව සිටි අයියර් හාමු හාන්සි පුටුවේ දිගෑදී ‘ගුඩුස්’ අරිමින් සිටියේය.
“ඇයි සිවප්පි?” අෑ දුටු ඔහු ඇසුවේය.
“අද ගෙදර විශේෂයක්ද හාමු?”
“මොන විශේෂයක්ද? ගමෙන් දුව ඇවිල්ලා! ඒකයි!”
ඇතුළින් හාමිනේගේ හඬ ඇසිණි. “කවුද? සිවප්පිද?”
“එහෙමයි!”
“කුස්සිය පැත්තට ආව නං! උඹ ගැනමැයි හිත හිත හිටියෙ. බක්කියට වතුර පිරෙව්ව නං! කාපු අයට අත හෝදගන්ඩවත් වතුර නෑ!”
සිවප්පි හාමිනේ සිටි පැත්තට යන්නට වූවාය.
“ඉණෙං බහින්නේ නැතුව මේ හෙනහුරා උඹව නැති කරනව. උෟව බස්සල ගියා නං!” අයියර් කෑගැසුවේය.
සිවප්පි එළියට ගොස් පුතු ගස් සෙවණේ ඉන්දෙව්වාය.
“මගෙ රත්තරං පුතේ, මේ හෙවණට වෙලා ඩිංගක් ඉන්ඩකො මං වතුර පුරවලා එනකං!” ඇය ඔහුට හාදුවක් දුන්නාය.
ගේ පිටුපස පැත්තට යන ගමන් සිවප්පි පුතු දෙස හැරි හැරි බල බලා සිනාසුණාය. පුතුද මව දෙස බලාගෙන සිනාවක් පාගෙන සිටියේය.
මෙය අයියර්ගේ හිතට ඇල්ලුවේ නැත. මෙවිටම ඔහුගේ දුවගේ පුතා කෑගසා අඬමින් පැමිණ ඇඟිලි හතර මුව තුළට ලාගත්තේය. දරුවෝ දෙදෙනාම සම වයස් වූහ.
“ඇයි පුතා අඬන්නේ?” එන්ඩ මෙෙ.න්ට! අයියර් මුනුපුරා සනසන්නට හැදුවේය.
“බෑ මට අම්ම ඕනැ”යි කියමින් ඔහු යළිත් හඬන්නට වූයේය.
“අම්ම කනව රත්තරං. කාල ඇවිල්ලා ඔයාව වඩා ගනියි. බලන්ඩ අර කොලුව දිහා එයාගෙ අම්මත් නෑ. ඒත් එයා නාඬ ලස්සනට ඉන්නව!”
සෝනයියා අත්පුඩි ගසමින් අයියර්ගේ මුනුපුරා දෙස බලා සිනාසුණේය. එවිට මුනුපුරා දෙපා පොළොවේ ගසමින් ඇඬිල්ල තවත් වැඩි කළේය.
තමා සෝනයියාට විහිළුවක් වී ඇති බව වැටහුණු අයියර්ට කේන්ති ගියේය.
“අර ළමය නරකයි! එයාට ගහමුද?” අයියර් මුනුපුරාගෙන් ඇසුවේය. එවර මුනුපුරා තවත් හයියෙන් අඬන්ට තියා ගත්තේය.
“මෙයාට වඩා නරක ළමයෙක් ඉන්නවද? මෙයාටයි ගහන්ඩ ඕනැ!” කියමින් අයියර්ගේ දුව ඉඳුල් කොළයද රැගෙන එළියට ගියාය. කොළය විසි කර අත හෝදාගත් ඇය “හෙනහුරා ඇයි කෑගහන්නේ?”යි බනිමින් පැමිණ පුතු වඩා ගත්තාය.
“ඇයි ළමයො කිසි දෙයක් නොකාම කොළේ විසි කෙරුවෙ? හකුරුත් එහෙම්ම තියෙනව! මෙහෙම කෑම නාස්ති කරනවද!” අයියර් කනස්සල්ල පළ කළේය.
“මේ යක්ෂය මට කන්ඩ දෙන්නෙ නෑ!” මව කේන්තිය පළ කළාය.
“පුතා අඬන්ඩ එපා! එයාට හකුරු කෑල්ලක් දෙන්ඩ!” අයියර් සිය දියණියට එසේ කියමින් සෝනයියා දෙස බැලුවේය. “කොල්ලො උඹටත් හකුරු ඕනැද?”
සෝනයියාට එය තේරුණේ නැත.
“සීනිබෝල ඕනැද? සීනිබෝල?”
සෝනයියා සතුටින් ඔළුව වනමින් නැගිට අවේය.
“අර තියෙන්නේ සීනිබෝල! අරං කාපං! පැණි රහයි!” අයියර් දිව තලු මරා සෝනයියා තුළ ආශාව ඇති කර ඉඳුල් කොළය පෙන්නුවේය. සෝනයියා සිය ළඳරු අතින් ඉඳුල් කොළයේ වූ හකුරු කෑල්ලක් ගෙන කටේ දා රස බලන්නට වූවේය.
“ඒයි! ඒයි! ඉඳුල් බිම දානව! තු–!” සිවප්පි කෑගසාගෙන දුව ආවාය. “කටින් එළියට දානවා! එළියට දානවා!”යි කියමින් ඔහුට ටොක්කක් ඇන්නාය. සෝනයියා කට ඇරගෙන අඬන්නට වූයේය. සිවප්පි මුව තුළට ඇඟිලි රුවා හකුරු කෑලි පිටතට ඇද දැමුවාය.
“මං මේ පණ කඩාගෙන මහන්සි වෙලා කැඳ වක්කරනව. උඹ ඉඳුල් අහුලං කනව” කියමින් ඇය දරුවාගේ පිටට පහරක් ගැසුවාය.
“ළමයට ගහන්ඩ එපා සිවප්පි!” අයියර් කීවේය.
“හාමු අපි නැතිබැරි අය! දැන්ම හදාගත්තේ නැත්තං හෙට ඉඳුල් කොළ අහුලන්ඩ පටන් ගනියි!”
ඇය පුතු ඉණෙහි රුවාගෙන ඔහුගේ මුහුණ පිස දැම්මාය. “මීට පස්සේ ඉඳුල් කන්ඩ යන්ඩ එපා!” ඇය පුතුට කරුණාවෙන් කීවාය.
“අර හාමු තමයි කන්ඩ කිව්වෙ!” ළමයා ඉකි බිඳිමින් කීවේය. සිවප්පිගේ ඇඟ වෙව්ලන්නට විය. ඇය දෑස රතු කරගෙන අයියර් දෙස බැලුවාය.
“හාමු තමුන්ගෙ දරුවන්ට මෙහෙම කියනවද? හාමුලගෙ ඉඳුල් හාමුලට වටිනව වෙන්ඩැති ඒත් ඇයි ඒව මගෙ පුතාට කවන්නෙ?”
“මොකක්ද සද්දෙ?”යි අසමින් අයියර් හාමිනේ ආවේ කැඳ එකද රැගෙනය.
“බලන්නකො හාමිනේ මේ හාමු මගෙ පුතාට ඉඳුල් කවන්ඩ හදනව!” සිවප්පි කඳුළු පිසදා ගත්තාය.
“මං මොනව කරන්ඩද? මට මෙයා පුංචි දරුවෙක්! ඇයි දරුවට ගහන්නෙ? මං මොකද කරන්නෙ?” අයියර් හාමිනේ ශෝක වූවාය.
“සිවප්පි කියනව මමලු දරුවට ඉඳුල් කන්ඩ කිව්වෙ කියල! මං එහෙම කියනව උඹට ඇහුණද?” අයියර් ප්‍රශ්න කළේය.
“මගෙ පුතා හරිහමං තාත්තකුට උපන් එකා! ඒකා බොරු කියන්නෙ නෑ!” සිවප්පි කේන්තියෙන් කෑගැසුවාය. අයියර් ගල් ගැසුණේය. අනතුරුව ඔහු මෙසේ කීවේය. “හා කිව්වැයි කියල හිතා ගනිංකො! එතකොට අපේ ගෙදර කැඳ හොඳයි. ඉඳුල් තමයි නරක! කැඳත් ඉඳුල් තමයි දැනගනිං!”
“මේ හාමු ඔයාලගෙ ඉඳුල් ඔයාලම තියාගන්ඩ! මට එපා!” කැඳ බෙලෙක් ටින් එකද විසිකර දැමූ සිවප්පි දරුවාද ඉණේ ගසාගෙන වේගයෙන් යන්නට වූවාය.
“මේ ඔක්කොම මගෙ කරුමෙ! මගෙ කරුමෙ!”යි කියමින් හාමිනේ ගෙට වැදුණේ හිසට ගසා ගනිමිනි.
සිවප්පි වෙහෙස වී දිය පුරවා තිබූ බක්කියත් ඇයට දෙන්නට නම් තමා අරන් තැබූ බත් හා මාළුත් දුටු හාමිනේගේ දෑස කඳුළින් පිරී ගියේය.
“දැක්කද ඒකිගෙ ආඩම්බරකම? මීට පස්සේ ඒකිට කැඳ පෙරන්ඩ එපා! බත් ඉදවපං! ඒකයි ශක්තිය! ඕං කිව්ව!” අයියර්ගේ හඬ උස්ව නැඟිණි.
පහුවදා අයියර්ගේ ගෙදර කැඳ පෙරිණි. එහෙත් කැඳ ඉල්ලා ගැනීමට සිවප්පි පැමිණ නොසිටියාය. ඉන් පසු කිසිදාක සිවප්පි දැකගත නොහැකි විය.