
-Dayananda Attanayake-
රහසක් සඟවා නොදුටූ හදකින් යන්න ගියා මැකිලා...
ඒ මතකයට දැන් වසර 13 ක්‌ම ගතව ගොස් හමාරය. එහෙත් අද ඊයේ වූ තරමටම ඒ සිද්ධිය තාමත් මට හොඳට මතකය.
මීට අවුරුදු 13 කට පෙර උදාවූ ඒ අඳුරු දිනයේ උදේ පාන්දර අවදිවූයේ මම බොහෝ ඇලුම් කළ එක්‌තරා ගීතයක් ගුවන් විදුලියේ ප්‍රතිවාදනය වනවා ඇසීමෙන්.
පෙළින් පෙලට රිය පෙරහැර මග නැත
දොරින් දොරට සැරසිලි හැඩ වැඩ නැත
හැඩට රුවට තැලි පිළිද නැතේ
එනමුදු අද ඔබෙ මනමාලිය මම//
එදා ඒ ගීතය වාදනය වූයේ වෙනදාට වඩා තරමක් වෙනස් රිද්මයකිනි. ගීතයේ පද දෙක තුනක් කියවෙයි. අතරමග ගීතය නතර වෙයි. ඊළඟට නිවේදකයා මොන මොනවාදො මුමුණයි. යළිත් පද කීපයක් වාදනය වෙයි. නිවේදකයාගේ හැඟුම්බර කටහඬ නැවත ඇසෙයි.
මම රේඩියෝව ළඟට තව තවත් ළං වීමි. නිවේදකයා සිය ශෝකී හඬින් මිමිනුවේ මාලිනී බුලත්සිංහල නම් ඒ අසහාය ගායිකාවගේ සුවිශේෂී හඬ ප්‍රතිභාව හා ගායන ප්‍රතිභාව ගැනය.
මා සිත කුතුහලයෙන් පිරී ගියේය. ඇයට යම් අනතුරක් වීද...? මට එසේ සිතුනේ අපේ රටේ ජනමාධ්‍යවලට කලාකරුවකුගේ වටිනාකම ගැන විශේෂයෙන් කතා කරන්නට සිතෙන්නේ ඔහුට හෝ ඇයට යම් අනතුරක් වූ විට බව මා දැන සිටි නිසාය. මම වහාම විපුල් ධර්මප්‍රිය ජයසේකරට කතා කළෙමි. ඉහත කී ගීතයේ ගීත රචකයා ඔහු බැවිනුත් ඔහු ගුවන් විදුලියේ සේවය කළ බැවිනුත් යම් ආරංචියක් වී නම් නිසැකවම ඔහු එය දැන සිටිය යුතුය.
මා සිතුවා නිවැරදිය. ඊට සති කිහිපයකට පෙර සංදර්ශන ගණනාවකට සහභාගි වීම සඳහා ලංකාවෙන් පිටත්ව ඇමරිකාව බලා ගිය මාලිනී බුලත්සිංහල නම් අපි සදා ආදරය කළ ගායිකාව කැලෆොනියාවේ සිය හිතවතෙකුගේ නිවසේ නතර වී සිටියදී හදිසි අනතුරකින් සදහටම අප හැර ගොස් සිටියාය. ඒ ආරංචියෙන් අප රටේ මුළු සිංහල සංගීත ක්‍ෂේත්‍රයම එදා කැළඹී ගිය අයුරු මට හොඳට මතකය... ඒ එදාය.
මාලිනී බුලත්සිංහල අපි අතරින් වියෝ වී වසර 13 ක්‌ම ගතව ගොස් හමාරය. එහෙත් ඒ හඬ පෞරුෂයට ළංවිය හැකි ගායිකාවක් ඒ වසර 13 තුළ තවත් මේ රටේ බිහිව තිබේද? බිහිවන්නට ඉඩ තිබෙන බවවත් කවරෙකු හෝ භාවිතයෙන් අඟවා තිබේද.... එවන් හඬක් එවන් ප්‍රතිභාවක් නැවත නැවත බිහි වන්නේ නැති බව නිසැකය.
අපේ රටේ සිංහල ගීත ක්‍ෂේත්‍රය තුළ විරාජමාන අසමසම ගායිකාව නන්දා මාලිනිය බව නිසැකය. ඇගේ හඬ පෞරුෂය මතුව ආවේ ඕ සිංහල ගීත ක්‍ෂේත්‍රයේ සෞන්දර්යාත්මක ගමනක නිරත වෙමින් අවදි කළ සංවාදශීලී සමාජ කතිකාව ඔස්‌සේය. ඕ ඒ මගෙහි හිනිපෙත්තටම ගොස් ජනතා ගායිකාවක බවට පත්වූවාය.
එහෙත් ඒ යුගයේම මාලිනී බුලත්සිංහල ජනාදරයට පත්වූයේ එතරම් පුළුල් සමාජ කතිකාවක් අරඹමින් නොවේ. මිනිස් සිත් සතන් ආලෝලනය කරමින් ස්‌පර්ශ කරන මට සුමට සුළලිත සීමිත ගී ආරක සෞන්දර්යාත්මක ප්‍රවේසයකට එළඹෙමිනි. ඒ ගී ආරේදී විටෙක ඕ පෙම් ගී ගැයුවේය. විටක අසම්මත පෙම් ගී ගැයුවාය. ගේහසිත ප්‍රේමයේ අපූර්වතම පැති කඩයන් ඒ ගී ආරට මාතෘකා වූවා අපට මතකය. මානව වර්ගයා එදිනෙදා ජීවිතයේදී අත්විඳින දුක්‌ඛ දොaමනස්‌ස මෙන්ම සුක්‌ඛ සෝමනස්‌සයන් සියුම් ලෙස ස්‌පර්ශ කරන ගී සිය ගණනක් ඕ සිය අසම සම මිහිරි හඬින් අප සිත් පත්ලට කි¹ බහින ලෙස ගැයුවාය.
ඕ සිය සංගීත භාවිතාව තුළ දහස් ගණනක් ගී ගයා නැත. එහෙත් ගැයූ සිය ගණනක් ගීත දනන් තුඩ තුඩ ගැයෙන මට්‌ටමට ජනප්‍රිය විය. ඒ ජනප්‍රිය ගී අතර කන්ද කෙන්ද, රජ මැදුරක, සැන්දැ අහස, හිමි සනරාමර, දකින විට පන්සලක් පල්ලියක්, හිමි නැති පෙමකට, දම්පාටින් ලා සඳ, අම්මා බුදුවේවා, සඳමඬලේ සිට, තාර පාර දිග, අනේ පුංචි කාලිදාස, මා ද ඔබම විය, මා එක්‌කලා අමනාපව, අහසින් තරුවක්, සඳකැන් දහරින් දෙනුවන් වැසිලා, ඔබට මා ආදරය කළ බව, මළපොතේ අකුරු, මොනාලිසා වැනි අතිශයින් ජනප්‍රිය ගීත මෙන්ම ජනාධිපති සම්මානයට පාත්‍ර වූ ගීතද විය. ඕ මධුසමය චිත්‍රපටයට ගැයූ ඔබම මා ද විය මාද ඔබමව විය ගීතය මේ අතර විශේෂත්වයක් ගත්තේය.
අද මේ ගීත බොහොමයක් ගුවන් විදුලි නාලිකාවල ඇසෙන්නේ නැත. ඇසුනොත් ඒ කුලාතුරකින්ය. රියෑලිටි ගීත උත්සව වල ගැයෙන්නේ ද නැත. එහෙත් සුභාවිත ගීතය අගයන රසිකයන්ගේ සිත් සතන්හි ගැඹුරුම තැන්වල නොමැකෙන ලෙස ඒ ගී ආර සුරැකිව සටහන්ව තිබීම වාසනාවකි.
2001 වසරේ මාර්තු 12 වැනිදාට දින කිහිපයකට පසු මාලිනී බුලත්සිංහල නම් ඒ අසහාය ගායිකාව මට දුරකථනයෙන් කතා කළේ ඇමරිකාවේ සිටය.
"මල්ලී... ඔයා තාත්තා කෙනෙක් වුණා කියලා මට ගාමිණී (ගාමිණී සුමනසේකර) කිව්වා. දුවෙක්‌ලු නේද? මම දූට තෑග්ගක් ගත්තා. එනකොට ගේන්නම්..."
ඕ අවසන් වරට මට කතා කර කී වදන් වැල් කිහිපය අදත් මගේ මතකයේ සුරැකිව ඇත. ඇයට එම තෑග්ග ගෙනවිත් මගේ දුවට දෙන්නට ලැබුණේ නැත.ඊට දින ගණනකට පසු මාර්තු 29 දා එතෙක් අප තුරුළේ ගී ගයමින් ඉඳි මාලිනී බුලත්සිංහල නම් ආදරණීය ගායිකාව සදහටම යන්නට ගියාය. මැකී යන්නට ගියාය.
මාලිනී බුලත්සිංහල ලංකාවෙන් පිටත්ව යන්නට පෙර සුනිල් සරත් පෙරේරා නම් ප්‍රවීණ ගීත රචකයා ඇයගේ සැමියා වන ප්‍රවීණ සංගීතඥ එච්. එම්. ජයවර්ධනට එක් සුවිශේෂී පදරචනයක් ගෙනවිත් දුන්නේය. එය අමරසිරි පීරිස්‌ට ගායනය සඳහා ලියූ ගීයකි. එච්. එම්. ට භාරදුන්නේ තනුවක් යොදා සංගීතවත් කර අමරසිරි පීරිස් නම් මහා හඬ පෞරුෂයෙන් ගායනා කරවන්නටය. එහෙත් මාස ගණනක් ගත වූවත් ඒ ගීතයට තනුවක් නොදැමිනි. ගේ පිටිපස ගඩොල් ගොඩක ඒ පදරචනය අව්වට වේලෙමින්, පින්නට තෙමෙමින් අකුරු බොඳවී මාස ගණනාවක්‌ම තිබිණි.
මාලිනී ඇමරිකාවේ සිටින අතරතුර එච්. එම්. අතින් ඒ ගීතයට තනුවක් යෙදිනි. අපූරුව තනුවක් තැනිනි. 2001 මාර්තු 29 දාට පෙර දිනක එච්. එම්. අයියා අමරසිරි අයියාට ගීතය භාර දුන්නේය. ඒ ගීතය මෙසේය.
ඈ යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවනැලි අතරේ
ගී ගයමින් ඉඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා...//
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මිහිඳුම් සළුවෙන් මුහුණ වසා
ඇය යන්න ගියා මැකිලා...
අමරසිරි ඒ ගීතය ගායනා කළේය. ඊට දින කිහිපයකට පසු මාලිනි අක්‌කා යළි ලංකාවට පැමිණියාය. ඒ... මිහිදුම් සළුවෙන් මුහුණ වසා නොව, මිහිදුම් සළුවක් වැනි සිනිඳු සුදු සේලයකින් මුලු ගතම වසාගෙනය... ඒ ගීතයෙන් කීව ලෙසම ගී ගයමින් ඉඳ අප තුරුලෙන් මාලිනි බුලත්සිංහල යන්නට ගියාය. ඕ මැකී ගියාය.
නිල්ල නෙලන නිල් කඳුවැටි අතරේ
සඳ එළියේ මං පෙත සාදා
රහසක් සඟවා නොදුටු හදකින්
යන්න ගියා මැකිලා
ඈ යන්න ගියා මැකිලා........................
බුලිත ප්‍රදීප් කුමාර
https://www.youtube.com/watch?feature=player_detailpage&v=ZBOevScd9fg
(2)sanda ken daharin-Malani Bulathsinhala/Kemadasa
https://www.youtube.com/watch?v=juqrkcB8zAw
(3)Obata ma adaraya kala bawa metharam
https://www.youtube.com/watch?v=rtscyXaKNQI
(4)Obama mada wiya... ඔබම මාද විය... මාද ඔබම විය...
Malani Bulathsinhala/Kemadasa
https://www.youtube.com/watch?v=vaNs1qoc1RE
