සරත් නන්ද සිල්වාට එරෙහිව වික්ටර් අයිවන්

298 views
Skip to first unread message

Nissanka Rajapaksa

unread,
Dec 21, 2013, 9:10:13 PM12/21/13
to ind...@googlegroups.com
සරත් නන්ද සිල්වා මහතා මව්බිම පුවත්පතට ලබා දී ඇති සම්මුඛ සාකච්ඡාවකට පිළිතුරක් ලෙස වික්ටර් අයිවන් මහතාගේ මෙම ලිපිය අද දින රාවය පුවත්පතේ පලකර තිබෙනව. සරත් නන්ද සිල්වා මහතාගේ එම මව්බිම සම්මුඛ සාකච්ඡාවට පුරුකක් මේ ලිපිය අවසානයේ ඇත.
- NR

සරත් සිල්වාගේ පුහු තර්ක

වික්ටර් අයිවන් [Sunday, December 22, 2013]

පසුගිය සතියේ සිකුරාදා ‘සිලෝන් ටුඩේ‘පුවත්පතේ ජනමාධ්‍ය වේදියෙක් මට දුරකතනයෙන් කතා කොට හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා සමග පුවත්පත කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී ඔහු විසින් මා ගැන සඳහන් කිරීම් කිහිපයක් කරන ලද බවත් විශේෂයෙන්ම දියවන්නා ඔය කතාව මා හා ලසන්ත වික‍්‍රමතුංග නිර්මාණය කරන ලද කතාවක් බව ඔහු කී බවත් මට කියමින් ඒ ගැන වන මගේ කතාව කීමට අවස්ථාවක් ලබාදීමට පුවත්පත කැමති බවත් ඒ සඳහා වන සම්මුඛ සාකච්ඡාවක් ලබාගැනීම සඳහා සඳුදා දිනයේදී හමුවිය හැකිදැ’යි මගෙන් විමසා සිටියේය. පොහොය දිනය වන සඳුදා දිනයේදී මා කොළඹ නොසිටින නිසා හමුවනවා නම් හමුවිය හැක්කේ අඟහරුවාදා බව ප‍්‍රකාශ කරමින් නැවත සඳුදා දින කතා කරන ලෙස ඉල්ලා සිටියෙමි.

ඉරිදා උදේ මට දුරකතනයෙන් කතා කළ මා දන්නා හඳුනන හිටපු විනිසුරුවරයකු සරත් නන්ද සිල්වා මව්බිමට පච තොගයක් කියා ඇති බව කියා සිටියේය. ඔහුගේ සම්මුඛ සාකච්ඡාව මුළුමනින් කියවීදැ’යි විමසූ විට මුළු සම්මුඛ සාකච්ඡාවම කියවූ බවත් සම්මුඛ සාකච්ඡාවට වෙන්කර තිබෙන ඉඩ පිටු දෙකහමාරක් බවත් කියා සිටියේය.

ඉන්පසු ඉරිදා මව්බිම පුවත්පත හා එම ආයතනය විසින්ම පළකරන සිලෝන් ටුඬේ පුවත්පත ගෙන්වාගෙන කියවීමි. ඔහුගේ සම්මුඛ සාකච්ඡාව සඳහා සිංහල පුවත්පත පිටු දෙකහමාරක් වෙන් කරන විට ඉංග‍්‍රීසි පුවත්පත සම්පූර්ණ පිටුවක ඉඩක් වෙන්කර තිබුණි. ඉංග‍්‍රීසි පුවත්පතේ පළවී තිබුණේ සිංහල පුවත්පතට ගන්නා ලද සම්මුඛ සාකච්ඡාවේ සංස්කරණයකි. සම්මුඛ සාකච්ඡාව තුළින් තනතුරේ සිටියදී ඔහු විසින් කරන ලද නින්දාසහගත ක‍්‍රියාවන් නිසා ඇෙඟ් තැවරී තිබුණු කැත කුණු සෝදාගැනීමට ඔහු විශාල උත්සාහයක යෙදී තිබුණු බව පෙනෙන්නට තිබුණි. එහි ඔහු මා ගැනද නොයෙකුත් දේ කියා තිබුණි.

සඳුදා සවස සිලෝන් ටුඩේ මාධ්‍යවේදියා නැවත මට කතා කොට අඟහරුවාදා දිනට යොදාගෙන ඇති සම්මුඛ සාකච්ඡාව ගැන මතක් කළේය. පුවත්පත් දෙකේම පළවී තිබූ වාර්තා මා කියවූ බවත් සම්මුඛ සාකච්ඡාව පවත්වා තිබෙන පුද්ගලයා එය සිදුකර තිබෙන ආකාරය ගැන මට එකඟවිය නොහැකි බවත්, බරපතළ වැරදි කර තිබෙන පුද්ගලයකුට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙන විට එය කළයුත්තේ ප‍්‍රමාණවත් තරමේ කරුණු හැදෑරීමකින් පසුව බවත්, ඔහුට එරෙහිව එල්ල වී තිබූ බරපතළ චෝදනා පිළිබඳව ලියැවුණු පොත්පත් සේ ම දේශීය හා ජාත්‍යන්තර පරීක්ෂණ වාර්තා තිබෙන බවත්, ඒවා පිළිබඳව කිසිදු අවබෝධයකින් තොරව ඇෙඟ් තැවරී තිබෙන කැත කුණු සෝදා ගැනීමට වේදිකාවක් තනාදීම යහපත් ජනමාධ්‍ය කලාවක් ලෙස සැලකිය නොහැකි බවත් කියමින්, ඒ ආකාරයෙන් කැරුණු සංවාදයක කොටස්කරුවකු වීමට මට අවශ්‍ය නොවන බවත් කියා සිටියෙමි.

ඒ කතාව අවසන් කොට තවත් ටික වේලාවකට පසුව ඔහු නැවත මට දුරකතනයෙන් කතා කළේය. මා දෙන ලද පිළිතුර තම කතුවරයාට දැනුම් දෙනු ලැබූ බවත් මා එම සම්මුඛ සාකච්ඡාව ගැන කරන ඕනෑම ප‍්‍රතිවිග‍්‍රහයක් කපා කෙටීමකින් හෝ විකෘති කිරීමකින් තොරව පළකරන බවට කතුවරයා සහතික වූ බවත් ඔහු කියා සිටියේය. ඉන්පසු සම්මුඛ සාකච්ඡාවකට මම එකඟවීමි. ඒ අනුව පසුදින එම මාධ්‍යවේදියා මගෙන් සම්මුඛ සාකච්ඡුාව ලබා ගත්තේය.

එහි පළවන්නේ කුමක් වුවද එම පුවත්පත්වල පළවූ සම්මුඛ සාකච්ඡුාව පිළිබඳව කෙටි විග‍්‍රහයක් රාවය පාඨකයන්ගේද දැනගැනීම සඳහා ලිවීම සුදුසුයැ’යි සිතුණි. සරත් නන්ද සිල්වා

සරත් නන්ද සිල්වා ඉතා වැදගත් හා බලවත් තනතුරු ගණනාවක් ඉසිලූ පුද්ගලයෙකි. ඔහු කලක් නීතිපති ධුරයද වඩා දීර්ඝ කාලයක් අගවිනිසුරු ධුරයද දැරීය. ඔහු එම තනතුරු දෙක උසුලන කාලයේදී මා විසින් ඔහුට එල්ල කරන ලද චෝදනා හා ඔහු එම තනතුරෙන් ඉවත් කරවා ගැනීම සඳහා මා දියත් කරන ලද ක‍්‍රියාමාර්ග ඔහුට සිය ජීවිතයේදී මුහුණ දෙන්නට සිදුවූ ලොකුම අර්බුද වන්නට ඇති බවට සැකයක් නැත. කරුණු නොදන්නා සාමාන්‍ය මිනිසුන් අතර ආගමට බර තබා ක‍්‍රියාකරන සැදැහැවත් ධර්ම දේශකයකුගේ තත්ත්වය පවත්වාගෙන යන්නට ඔහු සමත්ව ඇතත් කරුණු හොඳින් දන්නා අය අතර දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද ඔහු ගැන ඇත්තේ අතිවිශාල පිළිකුලකි.

ශ‍්‍රී ලංකාවේ අධිකරණයට තිබූ ගෞරවය හා අභිමානය නැත්තටම නැති කළ පුද්ගලයා ඔහුය. අධිකරණයේ තිබූ ඉදිරිගාමී ගමන ආපස්සට හරවනු ලැබූ පුද්ගලයාද ඔහුය. ආණ්ඩුක‍්‍රමයේ තිබූ අවුල් උග‍්‍ර කළ පුද්ගලයාද ඔහුය. ඔහු රාජ්‍යයේ අත්තනෝමතිකභාවය ශක්තිමත් කළේය. විපක්ෂයේ පැවැත්ම නැත්තටම නැති කළේය. යුරෝපා සංගමයෙන් ලැබෙමින් තිබූ ජීඑස්පී ප්ලස් සහනය ශ‍්‍රී ලංකාවට අහිමි කිරීම කෙරෙහි තීරණාත්මක ලෙස බලපෑ පුද්ගලයා ලෙසද ඔහු සැලකිය හැකිය. යුක්තිය හා පොදු යහපත පිණිස මා මාගේ ජීවිතයේදී විවිධ අරගලවල යෙදී ඇතත්, ඒ සියලූ අරගල අතුරින් මා වැඩිම අවදානමක් බාරගනිමින් කරන ලද දුෂ්කරම හා සංකීර්ණම අරගලයද ඔහුට එරෙහිව කරන ලද අරගලය වීයැ’යි කිව හැකිය. එය මා විසින් කරන ලද සියලූ අරගල අතුරින් ගතවූ කාලය අනුව දීර්ඝතම අරගලය ලෙසද සැලකිය හැකිය. මා එම අරගලයෙන් ජයගත්තේ නැතත් පරාජය වූයේද නැත. එහෙත් මා එම අරගලයෙන් සමාජය හා රටේ ආයතන ක‍්‍රමය පිළිබඳව ඉගෙනගත් ප‍්‍රමාණය වෙනත් කිසිදු අරගලයකින් ඉගෙනගත් ප‍්‍රමාණයට වඩා වැඩිය. 

එහෙත් ඔහුට එරෙහිව කරන ලද අරගලය යුක්තිසහගත හේතු මත කරන ලද සාධාරණ අරගලයක් වූවා මිස පරණ කෝන්තරයක් නිසා කරන ලද දෙයක් නොවීය. එම දුෂ්කර අරගලය තුළ මට විනාශ නොවී පවතින්නට හැකිවූයේද ඒ නිසාය. ඒ බව ඔහුද දැන සිටියේය. ඔහු ඉතාමත් දූෂිත හා කෲර මිනිසකු වුවත් අංශුමාත‍්‍රයක හෝ හෘදය සාක්ෂියක් ඔහුට තිබුණේය. ඔහුට අභියෝග කරන්නට ආ බලවත් අයට පවා ඔහු සිය නිල බලය යොදා පහර දුන්නේය. ඔවුන්ට හිරබත් කන තැනට වැඩ සැලැස්සුවේය. එහෙත් ඔහු මා සම්බන්ධයෙන් එවැනි ප‍්‍රතිපත්තියක් අනුගමනය නොකළේ මා හැප්පුණේ ආවේගයෙන් නොව බුද්ධියෙන් වන නිසාත් ඒ හැප්පීමට බලපෑ හේතු ඔහුගේ හෘදය සාක්ෂියට වද දෙන ප‍්‍රශ්න ඒවා වීමත් නිසාය.

71 කැරැල්ලේ නඩුව

එහෙත් ඔහු මෙම පුවත්පත් දෙකට දෙන ලද සාකච්ඡාවේදී අඟවන්නට උත්සාහ දරා තිබෙන්නේ මට සිරදඬුවම් නියම වූ කැරැල්ලේ නඩුව ඔහු මෙහෙයවන ලද නිසා මා ඔහු කෙරෙහි ඇති කරගත් වෛරයකින් ක‍්‍රියා කළ බවය.

ඔහු දී තිබෙන අර්ථකථනයේ අල්පමාත‍්‍ර වශයෙන් හෝ සත්‍යයක් නැත. කැරැල්ලේ එම නඩුවේ පැමිණිල්ල මෙහෙයවීම සඳහා යොදාගත් රජයේ නීතිඥ කණ්ඩායමට පුද්ගලයෝ පස්දෙනෙක් අයත් වූහ. එම කණ්ඩායමේ ප‍්‍රධානියා වූයේ වික්ටර් තෙන්නකෝන්ය. දෙවැනියා වූයේ කොලින් තෝමේය. රංජිත් අබේසූරිය තුන්වැනියා විය. තිලක් මාරපන එම කණ්ඩායමේ සිව්වැන්නා විය. කණ්ඩායමේ අන්තිමයා හෙවත් කනිෂ්ඨම පුද්ගලයා වූයේ සරත් නන්ද සිල්වාය.

වික්ටර් තෙන්නකෝන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය පසු පැමිණිල්ලේ නඩුව මෙහෙයවන ලද්දේ කොලින් තෝමේය. ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වීමෙන් පසුව නඩුව මෙහෙයවන ලද්දේ රංජිත් අබේසූරියයි. එතැන් සිට නඩු තීන්දුව දෙන අවස්ථාව දක්වා පැමිණිල්ල මෙහෙයවූ ප‍්‍රධානියාද ඔහු විය. සරත් නන්ද සිල්වා එම කණ්ඩායමේ සාමාජිකයන් අතුරින් අඩුම වැදගත්කමක් ලැබුණු පුද්ගලයා විය. විනිසුරු කොලින් තෝමේ විශ‍්‍රාමයෑමෙන් පසු හා මා රාවය ආරම්භ කිරීමෙන් පසු අප දෙදෙනා අතර යම් පමණක ඇසුරක් හා මිතුරුකමක් තිබුණේයැ’යි කිව හැකිය. වෛර කරනවා නම් මා වෛර කළයුත්තේ සරත් නන්ද සිල්වාට නොව රංජිත් අබේසූරියටය. එහෙත් ජනාධිපති නීතිඥ රංජිත් අබේසූරිය මාගේ වැදගත් නඩු දෙකක් වෙනුවෙන් නොමිලේ පෙනී සිටියේය. ඉන් එකක් සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයට පත්කිරීමට එරෙහිව පවරන ලද නඩුව වූ අතර එය දිග්ගැසුණු නඩුවක් විය. කැරැුල්ලේ නඩුව මෙහෙයවන ලද පුද්ගලයන් හා මා අතර අගතිගාමී හැඟීම් තිබුණේ වී නම් මා ඔහුගෙන් ආධාර ලබන හෝ ඔහු මට ආධාර කරන තත්ත්වයක් හෝ ඇතිවිය නොහැකිය. එම නඩුව ආශ‍්‍රයෙන් ඔහු පිළිබඳව මා තුළ ඇති කරගත් අගතියක් තිබුණේය, ඒ අගතිය මත අන් සියලූ දේ සිදුවීය කියන තර්කයේ කිසිදු සත්‍ය පදනමක් නැති බව ඉන් පෙනීයයි.

1992දී හෝ 1993දී නීති විද්‍යාලය විසින් මා වෙත මාගේ මාධ්‍ය භාවිතාව වෙනුවෙන් සම්මානයක් පිරිනමනු ලැබීය. නාට්‍ය භාවිතය සඳහා ධර්මසිරි බණ්ඩාරනායකටද සම්මානයක් පිරිනමනු ලැබීය. ඒ වන විට සරත් නන්ද සිල්වා අභියාචනාධිකරණයේ ප‍්‍රධානියා විය. අපට සම්මාන පිරිනැමීම සඳහා තෝරාගෙන තිබුණේ ඔහුය. මට සම්මානය ලබාගන්නට සිදුවූයේ ඔහු අතිනි. සම්මාන පිරිනැමෙන අවස්ථාවේදී එහි සිටි ඡායාරූප ශිල්පීන් ඡායාරූප ගත්තා වුවද උත්සවය අවසන්වීමෙන් පසු මා සමග එක්ව ඡායාරූපයක් ගන්නා ලෙස ඔහු එහි සිටි ඡායාරූප ශිල්පියකුගෙන් ඉල්ලා සිටියේය. මමද ඔහුගේ ඉල්ලීමට එකඟ වීමි. මා තුළ ඔහු පිළිබඳව කිසිදු තරහක් තිබුණේ නම් මා ඒ යෝජනාවට එකඟවන්නේ නැත.

නීතිපතිට එරෙහිව නඩු පැවරීම

කැරැල්ලේ නඩුව ආශ‍්‍රයෙන් මා තුළ තරහක් තිබුණු බව පෙන්වන්නට ඔහු ඇඟටපතට නොදෙනී ඉදිරිපත් කර තිබෙන තවත් කතාවක් වනුයේ ඔහු නීතිපති ධුරයට පත්වූ පසුවද මා ඔහුට එරෙහිව නඩු පැවරූ බවය. එය ඇත්තකි. එසේ කළේද ඔහු කෙරෙහි වන විශේෂ තරහක් තිබූ නිසා නොව නීතිපති වශයෙන් ඔහු හා ඔහුගේ පූර්වගාමීන් මා සම්බන්ධයෙන් අනුගමනය කරමින් තිබූ මට එරෙහිව සාපරාධී අපහාස නීතිය යටතේ නඩු පවරන ප‍්‍රතිපත්තියට එරෙහිව මා කරමින් සිටි අරගලය තර්කානුකූල අවසානයක් කරා ගෙනයෑමට එසේ කිරීමට අවශ්‍ය වූ නිසාය. 

සාපරාධී අපහාස නීතියෙන් වැඩියෙන්ම බැටකෑ ජනමාධ්‍යවේදියා මාය. සරත් නන්ද සිල්වා සේ ම ඔහුගේ පූර්වගාමී නීතිපතිවරුන් සාපරාධී අපහාස නීතිය මට එරෙහිව සේම වෙනත් ජනමාධ්‍යවේදීන්ට එරෙහිවද යොදා ගනිමින් තිබුණේ නීතියට පටහැනිව හිතුවක්කාරී ආකාරයකටය. මට එරෙහිව සාපරාධී අපහාස නීතිය පාවිච්චි කරන්නට පෙර පාවිච්චි කැරුණේ පාර්ලිමේන්තු වරප‍්‍රසාද නීතියයි. එම නීතිය අභියෝගයට ලක් කරන්නට මට සිදුවූ අතර එම අභියෝගය ඉදිරියේ මට එරෙහිව පාර්ලිමේන්තු වරප‍්‍රසාද නීතිය භාවිත කිරීම අත්හරින්නට එවකට පැවති පේ‍්‍රමදාස ආණ්ඩුවට සිදුවිය. ඉන්පසු ඒ වෙනුවට මට එරෙහිව බහුල ලෙස යොදාගන්නට වූයේ සාපරාධී අපහාස නීතියයි.

සාපරාධී අපහාස නීතියේදී සාමාන්‍යයෙන් ඒ යටතේ නඩු පැවරෙන පුද්ගලයකුට අධිචෝදනා ඉදිරිපත් කෙරුණේ මහේස්ත‍්‍රාත් උසාවියකදී සිදුකෙරෙන මූලික පරීක්ෂණයකදී චෝදනා සනාථ වුවහොත් පමණය. ඒ සාමාන්‍ය ක‍්‍රමය වෙනුවට මට එරෙහිව යොදාගනු ලැබුවේ විශේෂ ක‍්‍රමයකි. එනම් මහේස්ත‍්‍රාත් උසාවියේ මූලික පරීක්ෂණයකට ඉඩ නොදී මහාධිකරණය ඉදිරියේ කෙළින්ම අධිචෝදනා ඉදිරිපත් කිරීමය. නීතිපතිට එවැනි බලයක් තිබුණද අභිමත බලය පාවිච්චි කරමින් අධිචෝදනා ඉදිරිපත් කරන්නේ නම් ඒ ආකාරයෙන් කරන නඩු පැවරීමකට පෙර අධිචෝදනා ඉදිරිපත් කරන්නට තරම් බරපතළ වරදක් මා අතින් සිදුවීද යන්න නීතිපති හොඳින් සොයා බැලිය යුතුව තිබුණි. එහෙත් මට එරෙහිව සේ ම අන් ජනමාධ්‍යවේදීන්ට එරෙහිවද නීතිපතිවරුන් තමන්ට ලැබී තිබෙන අභිමත බලය පාවිච්චි කරමින් තිබුණේ හිතුවක්කාරී හා පීඩාකාරී ලෙසය. වෙනත් ජනමාධ්‍යවේදීන් ඒ තත්ත්වය පිළිගෙන නඩුවලට මුහුණ දෙන විට මා එම තත්ත්වය පිළිනොගෙන නඩු පවරන ක‍්‍රමයට අභියෝග කරමින් මට එරෙහිව පවරන නඩුවලට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කරන පිළිවෙතක් අනුගමනය කළෙමි. ඉන්පසු මා කළේ ඒ සියලූ නඩු එකට ගෙන නීතිපතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යෑමය. එය ඒ ආකාරයෙන් නීතිපතිවරයෙකුට එරෙහිව පවරන ලද පළමු නඩුව විය. පෙත්සම විභාගයට ගැනුණේ මාර්ක් ප‍්‍රනාන්දු ප‍්‍රමුඛ විනිසුරු මඬුල්ලක් ඉදිරියේය. නීතිපති වෙනුවෙන් පෙනීසිටියේ නීතිපතිගේ දෙවැනියා ලෙස ක‍්‍රියා කළ කමලසබේසන්ය. නීතිපතිට එරෙහිව මේ ආකාරයට නඩු පවරන ප‍්‍රතිපත්තියකට ඉඩ දුනහොත් නීතිපති දෙපාර්තමේන්තුව සිය කටයුතු කරගෙන යෑමට බැරි තත්ත්වයක් ඇතිවනු ඇති බවට කමලසබේසන් තර්ක කළේය. එහෙත් මාර්ක් ප‍්‍රනාන්දු කමලසබේසන්ගේ එම තර්කය පිළිගත්තේ නැත. නීතිපති තමාට තිබෙන අභිමත බලය නීතියට පටහැනිව කෙනෙකුට එරෙහිව පීඩාකාරී ලෙස පාවිච්චි කරන්නේ නම් එවැනි අවස්ථාවකදී නීතිපතිට එරෙහිව නඩු පැවරීමේ අයිතියක් ඒ පුද්ගලයාට තිබෙන බව මාර්ක් ප‍්‍රනාන්දු එහිදී පළකළ මතය විය. එම නඩුවේදී මාර්ක් ප‍්‍රනාන්දු විනිසුරුවරයා නීතිපතිට එරෙහිව නඩු පැවරීමට මට තිබෙන අයිතිය පිළිගත්තද නීතිපති මට එරෙහිව තමාට තිබෙන අභිමත බලය නීතියට පටහැනිව පීඩාකාරී ලෙස පාවිච්චි කර තිබෙන බව පිළිනොගත්තේය.

ජිනීවා නඩුව

මාර්ක් ප‍්‍රනාන්දු විනිසුරුවරයාගේ තීන්දු අර්ධ විප්ලවකාරී වුවද එය මාගේ පිළිගැනීමට හේතු නොවීය. ඔහු මගේ නඩුව අවශ්‍ය තරමට පුළුල් කෝණයකින් සලකා නොබැලීය යන්න මගේ මතය විය. එම තීන්දුව ප‍්‍රකාශ කළ දිනයේදී ඒ ගැන වන මගේ මතය ජනමාධ්‍යවේදීන් විමසූ අතර මම එම තීන්දුව නොපිළිගන්නා බවත් තීන්දුවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට පැමිණිලි කරමින් සාපරාධී අපහාස නීතියට එරෙහිව කරන මගේ සටන තවදුරටත් ඉදිරියට ගෙනයන බවත් ප‍්‍රකාශ කළෙමි.

ඒ අනුව මාගේ නඩුව ජිනීවාහි මානව හිමිකම් කමිටුව වෙත ඉදිරිපත් කළෙමි. කමිටුව මගේ පැමිණිල්ල විභාගයට ගැනීමට තීන්දු කළේය. ලංකා ආණ්ඩුව ඊට මූලික විරෝධයක් ඉදිරිපත් කළේය. පළමුවෙන් එය සලකා බලන ලද අතර මූලික විරෝධයට එරෙහිව මගේ පැත්තෙන් ඉදිරිපත් කරන ලද ලිඛිත සැලකිරීම් පිළිගනිමින් ලංකා ආණ්ඩුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධය නිෂ්ප‍්‍රභ කරමින් මාගේ පැමිණිල්ල විභාගයට ගත්තේය. නඩු විභාගය ඒකපාක්ෂික එකක් නොවීය. ලංකා ආණ්ඩුවද විධිමත් ලෙස ලිඛිතව කරුණු ඉදිරිපත් කළේය. අවසානයේ කමිටුව මගේ පැත්තෙන් ඉදිරිපත් කළ තර්ක පිළිගනිමින් ලංකා ආණ්ඩුව මේ නඩු පැවරීම් මගින් මගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව තීන්දු කරමින් ඒ මගින් මට සිදුවී තිබෙන පීඩාවට ප‍්‍රමාණවත් වන්දියක් ගෙවන ලෙස නියම කළේය. එය මට පමණක් නොව ලංකාවේ වෙනත් ජනමාධ්‍යවේදීන්ට එරෙහිව බහුල වශයෙන් පාවිච්චි කරනු ලැබූ පීඩාකාරී නීතියකට එරෙහිව කරන ලද දිග්ගැසුණු නෛතික සටනකින් මා ලැබූ ජයග‍්‍රහණයක් විය.

ඉතා වැදගත් දේ ජිනීවා නඩුව සඳහා මා පාදක කොටගත්තේ ආචාර්ය මාර්ක් ප‍්‍රනාන්දු දෙන ලද තීන්දුවයි. එය ඔහු විසින් දෙනු ලැබූ තීන්දුවක් වඩා බලවත් ජාත්‍යන්තර අධිකරණයක් ඉදිරියේ අභියෝගයකට ලක්කෙරුණු අවස්ථාවක් විය. ඒ තීන්දුව ප‍්‍රකාශ කිරීමෙන් පසුව ආචාර්ය මාර්ක් ප‍්‍රනාන්දු කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨය විසින් පළකරන “ශ්‍රී ලංකා ජර්නල් ඔෆ් ඉන්ටර්නැෂනල් ලෝ” නමැති සඟරාවට එම තීන්දුව විවරණය කරන ලිපියක් ලීවේය. එහි මාතෘකාව වූයේ “වික්ටර් අයිවන් Vs. ශ්‍රී ලංකා - ඩිසිෂන් ඉට් ස් ඉම්පැක්ට් ඔන් හියුමන් රයිට්ස්” යන්නයි. ඔහු එම විචාරයෙන් මානව හිමිකම් කමිටුව දී තිබෙන තීන්දුවේ වැදගත්කම පිළිගනිමින් එම තීන්දුව ලංකාවේ මානව අයිතිවාසිකම්වලට නව මානයක් ලබාදී තිබෙන බව ප‍්‍රකාශ කර තිබුණි. මා ඒ වෙනුවෙන් කරන ලද අරගලය කිසිදු පදනමක් නැතිව කරන ලද බොරු අරගලයක් නොවන බව ඉන් පෙනීයයි. නීතිපති සමග ගැටුමක් ඇතිකර ගැනීම

මා නීතිපති සරත් නන්ද සිල්වා සමග ගැටුමකට එළැඹෙන්නේ මහේස්ත‍්‍රාත්වරයකු තමා ඉදිරියේ ඇසෙන නඩුවක වගඋත්තරකාරියක අපහරණය කිරීමේ සිද්ධියක් පිළිබඳව මා කරන ලද හෙළිදරව්වකින් පසුව ඒ පිළිබඳව කෙරුණු පරීක්ෂණයෙන් ඒ බව සනාථ වී තිබියදීත් පරීක්ෂණ වාර්තාව නීතිපති වෙත ලැබීමෙන් පසු නීතිපති වශයෙන් ඔහු එම දූෂිත මහේස්ත‍්‍රාත්වරයා ආරක්ෂා කිරීමේ සිද්ධිය නිසාය. ඒ ආශ‍්‍රයෙන් ඉන්පසු ඇතිවූ දේවල් මා ලියා ඇති බැවින් මා මෙහිදී ඒ ගැන කිසිවක් කතා කරන්නේ නැත.

ඔහු අගවිනිසුරු ධුරයට පත්වූ අවස්ථාවේදී එම පත්කිරීම මා අභියෝගයට ලක් කළේද ඒ සඳහා වන ශක්තිමත් හා යුක්තිසහගත පදනමක පිිහිටාය. මා විනිශ්චයකාරවරුන් දෙදෙනකුට එරෙහිව ප‍්‍රසිද්ධ චෝදනා ඉදිරිපත් කර තිබුණි. ලෙනින් රත්නායක එක් අයකු වන විට උපාලි අබේරත්න ඊළඟ විනිසුරුවරයා විය. ඒ ගැන මා දිගින් දිගට කරන ලද හඬනැගීම නිසා මෙම විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව මා ඉදිරිපත් කරන ලද චෝදනා පිළිබඳව කරුණු පරීක්ෂා කොට වාර්තා කිරීම සඳහා අගවිනිසුරු ජීපීඑස් ද සිල්වා විසින් අභියාචනාධි කරණයේ විනිසුරු වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල පරීක්ෂණ කමිටු දෙකක් පත් කළේය. මහේස්ත‍්‍රාත් ලෙනින් රත්නායක පිළිබඳ පරීක්ෂණ කමිටුව සමන්විත වූයේ අභියාචනාධිකරණයේ හෙක්ටර් යාපා, අශෝක ද සිල්වා හා ටීබී වීරසූරිය යන විනිසුරුවරුන්ගෙනි. දිසා විනිසුරු උපාලි අබේරත්න පිළිබඳ පරීක්ෂණ කමිටුව සමන්විත වූයේ අභියාචනාධි කරණයේ අමීර් ඉස්මයිල්, හෙක්ටර් යාපා හා පී එදුස්සූරිය යන විනිසුරු වරුන්ගෙනි. මේ කමිටු දෙක විසින් ඒ ගැන පවත්වන ලද පරීක්ෂණයකින් පසුව මෙම විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව මා ඉදිරිපත් කර තිබුණු චෝදනාවලට එම විනිසුරුවරුන් දෙදෙනා වරදකරු කළේය. ඒ තීන්දු විසින් එතෙක් මා නීතිපති සරත් නන්ද සිල්වාට එරෙහිව කරමින් තිබූ අරගලයට ශක්තිමත් නෛතික පදනමක් ලැබුණි. විවිධ හේතු මත (ලෙනින් රත්නායක සරත් නන්ද සිල්වාගේ ඥාතියෙක් විය. උපාලි අබේරත්න සරත් නන්ද සිල්වා සම වගඋත්තරකරුවකු කරමින් ජයසේකර පවරන ලද නඩුවේදී නීතියට පටහැනිව සරත් නන්ද සිල්වාගේ වාසිය පිණිස නීතියට පටහැනිව ක‍්‍රියාකළ විනිසුරුවරයා විය.) මෙම විනිසුරුවරුන් දෙදෙනා ආරක්ෂා කළේ නීතිපතිය. පරීක්ෂණ දෙකේ තීන්දුවෙන් පසු නීතිපති සරත් නන්ද සිල්වාට එරෙහිව මම ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළෙමි. මාගේ පැමිණිල්ල මත ශ්‍රේෂ්ඨාධිකරණය පරීක්ෂණයක් ආරම්භ කළේය. ඒ මා විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ල පහසුවෙන් ඉවත දැමිය නොහැකි ශක්තිමත් පදනමක පිහිටා තිබූ බැවිනි. එම තීරණය ගන්නා ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලූ විනිසුරුවරුන් එකට එකතු වී ඒ ගැන කරන ලද සාකච්ඡාවකින් පසුවය. පරීක්ෂණයක් ආරම්භ කරනවාට විනිසුරුවරුන් තිදෙනකු (ප‍්‍රියන්ත පෙරේරා, ඞීපීඑස් ගුණසේකර හා එල්ජීඑච් ධීරසේකර යන විනිසුරුවරුන්) විරුද්ධ වූ අතර අන් සියලූදෙනා පක්ෂ වූහ. මාගේ පැමිණිල්ලේ පරීක්ෂණය භාරවූයේ අමීර් ඉස්මයිල් මහතාටය. ජයසේකරගේ පැමිණිල්ලේ පරීක්ෂණය භාරවූයේ ශිරානි බණ්ඩාරනායක මහත්මියටය. මෙම පරීක්ෂණ දෙක භාරව ක‍්‍රියා කළේ මාර්ක් ප‍්‍රනාන්දු මහතාය.

ජනාධිපතිනිය විසින් බෙල්ල හිරවන තත්ත්වයකට පත්ව සිටි චෝදනාලාභී සිය මිතුරා අගවිනිසුරු ධුරයට පත්කරන ලද්දේ මගේ පැමිණිල්ලේ පරීක්ෂණය භාරව ක‍්‍රියා කළ විනිසුරු අමීර් ඉස්මයිල් මහතා සරත් නන්ද සිල්වාගෙන් ලිඛිතව නිදහසට කරුණු විමසීමක්ද කර තිබියදීය.

සරත් නන්ද සිල්වා ජනාධිපතිනිය ඉදිරියේ දිවුරුම් දෙන ඡායාරූපය උඩ යට හරවා පළකිරීම ගැන සරත් සිල්වා කියා තිබුණේ ඒ මගින් ඔහු පමණක් නොව රටේ ජනාධිපතිනියද මා විසින් ඔළුවෙන් සිටුවූ බවය. එය ඇත්තය. ඒ අවස්ථාවේදී මගේ විරෝධයට හේතුවූයේ සරත් නන්ද සිල්වා පමණක් නොවේ. ඒ නොමනා පත්කිරීම සිදුකළ ජනාධිපතිනියද මගේ විරෝධයට හේතුවී තිබුණි. මට ඒ අවස්ථාවේදී ඉතාමත් බලවත් ලෙස විරෝධය පළකිරීමට තිබුණු එකම මාර්ගයද එයවීයැ’යි කිව හැකිය.

සරත් නන්ද සිල්වාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන අවස්ථාවක ඔහු මෙම තනතුරට පත්කිරීම සුදුසු නැති බව ජනාධිපතිනියගේ ප‍්‍රධාන නීති උපදේශක වශයෙන් ක‍්‍රියා කළ එච්එල් ද සිල්වාද ජනාධිපතිනියට ප‍්‍රකාශ කර තිබුණි. මෙම නොමනා පත්කිරීම කරනු ලැබූ අවස්ථාවේදී, අධිකරණයේ විනිසුරුවරුන් හා නීතිඥයන් පිළිබඳ විෂය භාර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප‍්‍රධාන නිලධාරියා වශයෙන් ක‍්‍රියා කළ ඩාටෝ පරම්කුමාරස්වාමි මහතාද ශ‍්‍රී ලංකාවට පැමිණ එය නොමනා පත්කිරීමක් බව ප‍්‍රසිද්ධියේම ප‍්‍රකාශ කළේය. අඩුම වශයෙන් පරීක්ෂණය අවසන් වනතෙක් වැඩබලන අගවිනිසුරුවරයකු පත් කළ යුතුව තිබුණු බව ඔහු ප‍්‍රකාශ කළේය.

ඒ සියල්ලෙන්ද පෙනීයන්නේ ඔහුගේ පත්කිරීමට එරෙහිව මා පළ කළ විරෝධය තර්කානුකූල ශක්තිමත් පදනමක් තිබූ එකක් මිස පුහු විරෝධයක් නොවන බවය. 

(ඉතිරි කොටස ලබන සතියේ)

දියවන්නාව අයිනෙ ගෑනියෙක් එක්ක නිර්වස්ත්‍රව උන්නයි කියපු රෑ මං හිටියෙ උපරිමාධිකරණයේ




Nissanka Rajapaksa

unread,
Dec 29, 2013, 12:12:32 AM12/29/13
to ind...@googlegroups.com
වික්ටර් අයිවන් [Sunday, December 29, 2013]

මම පසුගිය කලාපයෙන් මව්බිම හා සිලෝන්ටුඬේ යන පුවත්පත් දෙක ඔස්සේ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා පළකර තිබූ අදහස් විවේචනයට ලක්කරමින් ප‍්‍රතිවිවේචනයක් ලියන ලද්දේ මා සම්බන්ධයෙන් පළකර තිබූ අදහස් පිළිබඳව සිලෝන් ටුඬේ පුවත්පත විසින් මගෙන් සම්මුඛ සාකච්ඡුාවක් ලබාගෙන තිබියදීය. මා එසේ කරන ලද්දේ එය ඔවුන් විසින් පළ කළත් නැතත් ඒ ගැන මාගේ අදහස් රාවය මගින් පළකළ යුතුයැ’යි කියන අදහසේ පිහිටාය. කොහොමටත් මෙම පුවත්පත් දෙකම එකම ආයතනයකින් පළකෙරෙන පුවත් පත් වීම හා හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡුාව රටට විශාල විනාශයක් කරන ලද පුද්ගලයකු සාධාරණ ලෙස ප‍්‍රශ්න කිරීමකට ලක් නොකොට ගැලවුම්කාර වේෂයක් ආරෝපණය කිරීමට හේතුවන ආකාරයට කර තිබීම යන කාරණා මා ඇති කරගෙන තිබූ විචිකිච්ඡුාව කෙරෙහි බලපෑවේය. ඊට අතිරේකව සම්මුඛ සාකච්ඡුාව පවත්වා තිබෙන්නේ මව්බිම පුවත්පත වීම හා සිලෝන් ටුඬේ පුවත්පතේ පළවූයේ මව්බිම පුවත්පතේ පළවූ සම්මුඛ සාකච්ඡුාවේ සාරාංශයක් පමණක් වීම හා එසේ තිබියදී මාගෙන් ප‍්‍රතිචාරයක් මව්බිම පුවත්පත විසින් ලබාගන්නවා වෙනුවට සිලෝන් ටුඬේ පුවත්පත විසින් ලබාගැනීම යන කාරණාද මා තුළ ඇතිව තිබූ එම විචිකිච්ඡුාව කෙරෙහි බලපා තිබුණි.

එම සම්මුඛ සාකච්ඡුාවේදී සරත් නන්ද සිල්වා මා පිළිබඳව පළකරන ලද අදහස් පිළිබඳව මාගේ ප‍්‍රතිචාරය සඳහා වන සම්මුඛ සාකච්ඡුාවක් සිලෝන් ටුඬේ පුවත්පත ඉල්ලා සිටි විට එම සාකච්ඡුාවෙන් පළවන දර්ශනයට මා එකඟ නොවන නිසා හා එම සම්මුඛ සාකච්ඡුාවෙන් සිදුකර තිබෙන්නේ මහා විනාශයක් සිදුකළ පුද්ගලයකුට ගැලවුම්කාරයකුගේ පෙනුම ලබාදීම බව ප‍්‍රකාශ කරමින් මම ඒ ආකාරයෙන් කෙරෙන සංවාදයක කොටස්කරුවකු වීමට කැමති නැති බව කීවෙමි. මා පළකරන ලද දෝෂාරෝපණයට ඇහුම්කන් දුන් ජනමාධ්‍යවේදියා ඔහු පසුව පළ කළ ආකාරයට පුවත්පතේ කතුවරයාට ඒ බව දැනුම්දීමෙන් පසු මගෙන් ලබාගන්නා සම්මුඛ සාකච්ඡුාව කිසිදු විකෘති කිරීමකින් තොරව හා කපා කෙටීමකින් තොරව පළකරන බවට කතුවරයා පොරොන්දු වූ බව දැනුම්දීමෙන් පසුව සම්මුඛ සාකච්ඡුාවක් ලබාදීමට මම එකඟවීමි. මේ වගේ දූෂිත පුද්ගලයන් හෙළිදරව් කිරීම තම යුතුකමක් බවද සම්මුඛ සාකච්ඡුාව පවත්වන ලද අතරවාරයේදී සම්මුඛ සාකච්ඡුාව ලබාගත් ජනමාධ්‍යවේදියා ගම්භිර ස්වරයකින් ප‍්‍රකාශ කළ බවද මට මතකය. සම්මුඛ සාකච්ඡුාව මාගෙන් ලබාගත් පුද්ගලයා සාකච්ඡුාව අවසානයේදී මගෙන් සමුගත්තේද මා එහිදී පළකරන ලද අදහස් කිසිදු කප්පාදුවකින් තොරව පළ කරන බවටද සහතිකවෙමිනි. එහෙත් එය එසේ සිදු නොවීය. එය එසේ වූයේ ඇයිද යන්නද මම නොදනිමි.

පස්සා දොරෙන් සිදුවූ ගනුදෙනු

මා මීට පෙරද විටින් විට ප‍්‍රකාශ කර ඇති පරිදි හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා එම ධුරයේ සිටියදී රටට හා සමාජයට මහා විනාශයක් කරන ලද පුද්ගලයකු වී සිටියදී ඔහු සිදුකර තිබුණු විනාශය ආශ‍්‍රයෙන් මතුව තිබූ අර්බුදයේදී ඔහුගෙන් විශාල ඵලප‍්‍රයෝජන ලැබූ බලවත් සුළු පිරිසක්ද රටේ සිටියෝය. සමහර දේශපාලන පක්ෂ ඔහු සමග පස්සා දොරෙන් ගනුදෙනු කරන ක‍්‍රමයක් මගින් එම පක්ෂවලට කීර්තියක් ලබාදීමට හේතුවන නඩු තීන්දු ලබාගත්තේය. ඒ විශේෂ අවස්ථාවේදී ඔහු සමග පස්සා දොරෙන් ගනුදෙනු කළ අය අතර සමහර ජනමාධ්‍යවේදීහු සේ ම ජනමාධ්‍ය ආයතනවල හිමිකරුවෝද සිටියෝය. ඒ විශේෂ මොහොතේදී ඔහුට ඒ සියලූදෙනාගේ සහාය අවශ්‍ය වී තිබුණි. එහිදී ඔහු ඔවුන්ට පහසුවෙන් අමතක කළ නොහැකි තරමේ විශේෂ විශාල හා තීරණාත්මක උදව් ලබා දුන්නේය. එසේ ඔහුගෙන් ඒ මොහොතේ විශේෂ හා විශාල ප‍්‍රමාණයෙන් උදව් ලබාගත්තවුන් අතර අද දක්වාම ඔහු කෙරෙහි ඇති කරගත් කෘතවේදී හැඟීමකින් යුතුව ඔහුට ප‍්‍රතිඋපකාර දක්වන ක‍්‍රමයක්ද ක‍්‍රියාත්මක වන බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නේයැ’යි කිව හැකිය. 

රටේ තිබුණු අධිකරණ ක‍්‍රමය මුළුමනින් විනාශ කළ පුද්ගලයකුට ඔහු විසින් එම මහා විනාශය සිදුකරන කාලයේදීම ඔහුගෙන් අයථා ලෙස උපකාර ලැබූ රටේ ප‍්‍රබලයන් පිරිසක් ඔහු විශ‍්‍රාම ගැනීමෙන් පසු ඔහුට නැවත ප‍්‍රබල තත්ත්වයක් ලබාදීමට දක්වන අනුග‍්‍රහයද රටේ තිබෙන අවුල උග‍්‍ර කිරීමට බලපා තිබෙන වැදගත් අතිරේක සාධකයක් ලෙස ක‍්‍රියාකරමින් තිබෙන බව දැකිය හැකිය. සරත් ෆොන්සේකා කරළියට එන්නට පෙර රට ගලවාගැනීමේ භූමිකාව රඟපෑම සඳහා පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරියට එන්නට නියමිතව සිටියේ සරත් නන්ද සිල්වාය. සරත් ෆොන්සේකා පොදු අපේක්ෂකයා ලෙස කරළියට ඒම නිසා එම සිහිනය බිඳ වැටුණි. එහෙත් ඒ නිසා ඔහුට ලැබී තිබුණු වැදගත්කම මුළුමනින් බිඳ වැටුණේ නැත. සරත් ෆොන්සේකාගේ ජයග‍්‍රහණයෙන් පසුව නව ආණ්ඩුක‍්‍රමයක් ඇති කිරීමේ වගකීම පැවරී තිබුණු ප‍්‍රධාන පුද්ගලයා ඔහුය. තාමත් ඔහුගේ හොල්මන මුළුමනින් වියැකී නැත. තාමත් ඔහු පුම්බන ජනමාධ්‍ය හරහා ඔහු කියන්නේ රට වෙනුවෙන් ඉටු කරන්නට වැදගත් කාර්යභාරයක් තමාට තිබෙන බවය. රටේ පවතින දූෂිත දේශපාලන ක‍්‍රමය වෙනස් කිරීම, රට ඉදිරියේ තිබෙන හා ප‍්‍රමුඛ හා වැදගත්ම කාර්යභාරය බවත් ඒ වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටුකිරීම තම අපේක්ෂාව බවත් ඔහු ගම්භිර සේ ම ධාර්මික ස්වරයකින් එම ජනමාධ්‍ය ඔස්සේ පුන පුනා රටට කියනු ලබයි. මෙම අර්බුදය තුළ ගැලවුම්කාරයකු වශයෙන් ඔහුට ලැබී තිබෙන හෝ ලබාදී තිබෙන වැදගත්කමේ තරම රට මුහුණ දී තිබෙන අර්බුදයේ තරම හා එහි නියම ස්වභාවය විකාරරූපී ස්වරූපයකින් පිළිබිඹු කරන්නේයැ’යි කිව හැකිය.

සරත් සිල්වාට ලැබෙන වැදගත්කම

මට සරත් නන්ද සිල්වා වැදගත් වනුයේ ඔහු අගවිනිසුරු ධුරයේ සිටියදී ඔහුගේ දූෂිත ආධිපත්‍යයට එරෙහිව කරන අරගලයක මා ප‍්‍රධාන කොටස්කරුවකු වීම නිසා නොවේ. රටේ තිබෙන දූෂිත දේශපාලන ක‍්‍රමය කුණුවී තිබෙන තරම හොඳින්ම පිළිබිඹු කරන ලද පුද්ගලයා ඔහු වීම නිසාය. මා මේ රටේ තිබෙන දූෂිත දේශපාලන ක‍්‍රමයේ දැති රෝද කැරකෙන ආකාරය වැඩියෙන්ම තේරුම්ගත්තේ ඔහු පිළිබඳව කරන සොයා බැලීම් ආශ‍්‍රයෙනි. අන් සියලූ දේට වඩා යහපාලනයක් සඳහා අධිකරණය වැදගත්ය. කොතරම් හොඳ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් තිබුණද රටේ තිබෙන අධිකරණ ක‍්‍රමය දූෂිත නම් රටේ යහපාලනයක් තිබිය නොහැකිය. අනෙක් අතට රටේ තිබෙන්නේ නරකම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් වුවත් රටේ හොඳ අධිකරණයක් තිබේ නම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තිබෙන නරක වුවත් කිසියම් විශාල ප‍්‍රමාණයකට පාලනය කළ හැකිය. ආචාර්ය මාර්ක් ප‍්‍රනාන්දු සැලකිය යුත්තේ මේ ධර්මතාව වඩාත් හොඳින් ක‍්‍රියාවෙන් පෙන්නුම් කළ විනිසුරුවරයා වශයෙනි.

එක් අවස්ථාවකදී ජනාධිපතිනිය ඡුන්ද පැවැත්වීමට සැලසුම් කර තිබූ පළාත් සභා කිහිපයක ඡුන්දය පැවැත්වීම හදිසි නීතිය යටතේ කල් තබන ලදි. ඊට එරෙහිව කිසියම් පුරවැසියකු අධිකරණය ඉදිරියට ගියේය. ඡුන්ද පැවැත්වීමට බැරිතරමේ බරපතළ තත්ත්වයක් එම පළාත්වල හෝ රටේ නොපවත්නා බවත් ඉතාමත් බිහිසුණු තත්ත්වයක් රටේ පැවති අවස්ථාවල පවා ඡුන්ද පවත්වා තිබෙන බවත් ඒ නිසා හදිසි නීතිය යටතේ ඡුන්ද කල්දැමීම සඳහා ජනාධිපති විසින් දී තිබෙන නියෝග නීතියට පටහැනි බවත් ඔහු තර්කානුකූලව අධිකරණයට පෙන්වා දුන්නේය. මාර්ක් ප‍්‍රනාන්දු ජනාධිපතිනියගේ ඡුන්ද කල්ගැනීමේ නියෝගය නීති විරෝධී බව ප‍්‍රකාශ කරමින් එම පළාත් සභා දෙකේ ඡුන්ද පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග කළේය. ඉනුත් පසු පළාත් සභා මැතිවරණ කිහිපයක් මුව විට තිබෙන අවස්ථාවකදී තවත් පුරවැසියන් දෙදෙනකු අධිකරණය ඉදිරියට යමින් වයඹ පැවති ඡුන්ද කොල්ලය නිදර්ශනයට ගනිමින් මැතිවරණ පැවැත්වීමට නියමිත පළාත් සභාවලද ඒ හා සමාන තත්ත්වයක් ඇතිවිය හැකි බව ප‍්‍රකාශ කරමින් ඒ මගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමට ආසන්න තත්ත්වයක තිබෙන බවට තර්ක කළේය. ඒ අවස්ථාවේ මාර්ක් ප‍්‍රනාන්දු විනිසුරුවරයා ඓතිහාසික වැදගත්කමක් ඇති තීන්දුවක් දුන්නේය. ඡුන්දය පාවිච්චි කිරීමේ අයිතිය අදහස් පළකිරීමේ නිදහසින් වෙන්කළ නොහැකි එකට යාවී තිබෙන දෙයක් බව අධිකරණය විසින් ප‍්‍රකාශ කරන ලද්දේ එහිදීය. ඡුන්දය පාවිච්චි කිරීමේ අයිතිය පිළිබඳව ඊට සමාන අර්ථකථනයක් ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද ඊට පෙර ලබාදී තිබුණි. මාර්ක් ප‍්‍රනාන්දු විනිසුරුවරයා ආදර්ශයට ගත් බව පෙනෙන්නේ එම නඩු තීන්දුවය. අධිකරණය මැතිවරණ කොමසාරිස්වරයා හා පොලිස්පතිවරයා අධිකරණය ඉදිරියට කැඳවා නිදහස් හා සාධාරණ ඡුන්දයක් සහතික කිරීමට හේතුවන වැඩපිළිවෙළක් සංවිධානය කොට එය අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ඒ දෙදෙනාගෙන් ඉල්ලා සිටියේය. 1977න් පසුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවති එකම අවස්ථාව එය ලෙස සැලකිය හැකිය. මීට පෙර ආණ්ඩුවේ ජනමාධ්‍ය ආයතනය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට ප‍්‍රසිද්ධියේ කෙරෙන දෙයක් බවට පත්ව තිබුණේය. ආණ්ඩුවේ මැති ඇමතිවරුන් මැතිවරණවලදී මැතිවරණ කටයුතු සඳහා රජයේ නිලධාරීන් හා සම්පත් යොදා ගැනීමද වැළැක්විය නොහැකි සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබුණේය. ඒ කිසිවෙක් මැතිවරණ කොමසාරිස්වරයා දෙන නියෝග තුට්ටුවකටවත් ගණන් නොගත්තේය. එහෙත් එම මැතිවරණයේදී පමණක් චිත‍්‍රය මුළුමනින් වෙනස් විය. නීතියට පටහැනිව ක‍්‍රියාකළහොත් එය අධිකරණයට එරෙහිව කරන ලද අපහාසයක් ලෙස සලකා තමන්ට දඬුවම් කරනු ඇතැ’යි කියන බිය නිසා වෙනදා නීතිය තුට්ටුවකුටවත් ගණන් නොගෙන හිතුවක්කාරී ලෙස ක‍්‍රියාකළ සියලූදෙනා නීතියට අනුකූලව ක‍්‍රියාකරන තත්ත්වයකට තල්ලූ වූහ. එය යහපාලනයක් සඳහා අධිකරණයට තිබෙන බලමහිමය අධිකරණය විසින් ඉතා බලවත් ලෙස පෙන්නුම් කළ අවස්ථාවක් විය.

සරත් නන්ද සිල්වා විසින් ආපස්සට හරවන ලද්දේ අධිකරණය ගමන් ගනිමින් තිබූ එම ඉදිරිගාමී මාවතය. ඔහු අගවිනිසුරු ධුරයට පත්වීමෙන් පසුද මැතිවරණවලදී විවිධ පුරවැසියෝ නිදහස් හා සාධාරණ තත්ත්වයක් දිනාගැනීම සඳහා අධිකරණය ඉදිරියට ගියෝය. ඔවුන්ට ආපසු එන්නට සිදුවූයේ හිස් අතිනි. එවැනි සමහර අයට එරෙහිව අවවාද කෙරුණු අවස්ථාද තිබුණි. කරු ජයසූරියද මැතිවරණයකදී ආණ්ඩුවේ ජනමාධ්‍ය ආයතනවලට එරෙහිව අධිකරණය ඉදිරියට ගියේය. පෙත්සම විභාගයට ගැනීමට දින නියම කෙරුණේ මැතිවරණය පැවැත්වීමට නියමිත දිනයෙන් පසු දිනකය. එය නීති උල්ලංඝනය කරන්නන්ට ආණ්ඩු පක්ෂයේ ආරක්ෂාව වෙනුවෙන් බිය නැතිව නීති උල්ලංඝනය කිරීමට දෙන ලද ප‍්‍රබල සංඥාවක් විය. මේ ආකාරයට කිසියම් ප‍්‍රමාණයක ඉදිරිගාමී තත්ත්වයක තිබූ අධිකරණය ආණ්ඩු පක්ෂයේ දේශපාලන අතකොලූවක් බවට පත් කළේ සරත් නන්ද සිල්වාය. සරත් නන්ද සිල්වා පුම්බන්නට වලිකන ජනමාධ්‍ය ජනතාවට වසන් කරන්නට යන්නේද එම ඉතිහාසයයි.

අධිකරණ ක‍්‍රමයට ලැබෙන වැදගත්කම

දේශපාලන ක‍්‍රමය හෙවත් විධායක ජනාධිපති ක‍්‍රමය පරාජය කළ යුතුව තිබෙන ප‍්‍රධාන පොදු සතුරා බවට පත්වන තත්ත්වයක් ඇතිවෙමින් තිබීම ගැන සතුටු විය හැකිය. එහෙත් එම විවාදය තාමත් තිබෙන්නේ මතුපිටින් අතපත ගාන තත්ත්වයකය. එහි ගැඹුරු හරය සලකා බලන තත්ත්වයකට තවමත් රට යොමුවී නැත. ඇති කරන්නට යන ඕනෑම වෙනසකදී වෙනස් කිරීමට ඉතාමත් අමාරු සංකීර්ණ දේ වනු ඇත්තේද අධිකරණයයි. එය උපරිම මට්ටමෙන් දූෂණයෙන් කුණුවූ ආයතන ක‍්‍රමයක තත්ත්වයට පත්ව තිබෙන්නේයැ’යි කිව හැකිය. ඒ තත්ත්වයෙහි ඵලදායක හා ගැඹුරු වෙනසක් ඇතිකර ගන්නේ කෙසේද යන ප‍්‍රශ්නය බැ?රුම් ලෙස සාකච්ඡුාවට ලක් කරන තත්ත්වයක් තවමත් මතුවී නැත. දූෂණයෙන් කුණුවී තිබෙන අධිකරණ ක‍්‍රමයේ ගැඹුරු වෙනසක් ඇති නොකරන කවර වෙනසකටවත් අර්ථවත් වෙනසක් වීමේ හැකියාවක් නැත. ඇති කෙරෙන එම වෙනසේ මහ මොළකාරයන් ලෙස ක‍්‍රියාකරන්නට යන්නේ සරත් සිල්වා වැනි අන්ත දූෂිත පුද්ගලයන් නම් වෙනසක් ඇතිවනවාට වඩා වෙනසක් ඇති නොවී තිබීම යහපත්ය. එවිට විය හැක්කේ මජර ගලන තරමට කුණුවී තිබෙන අන්තර්ගතය එහි මතුපිටින් අයිසින්වලින් ලස්සන කිරීමක් පමණය.

අධිකරණ ප‍්‍රතිසංස් කරණයකදී මුහුණ දෙන්නට සිදුවන බරපතළම ප‍්‍රශ්නය වනුයේ අධිකරණයේ විනිශ්චයකාරවරුන් අතර ඇතිවී තිබෙන බුද්ධිමය හා සදාචාරමය පරිහානිය ජයගන්නේ කෙසේද යන ප‍්‍රශ්නයයි. ඒ සඳහා වන අධ්‍යාශයක් හෝ පුරෝගාමී ශක්තියක් ඇති අය ඉහළ නිලතල දරන්නන් අතර සිටින්නේද යන්න ප‍්‍රශ්නයකි. අධිකරණය විසින් සිය ඉතිහාසය තුළ ලබාදී තිබෙන සමහර වැදගත් තීන්දු නීතියට පටහැනිවනවා පමණක් නොව ඉතාමත් පසුගාමී හා ප‍්‍රතිගාමී වන බවද කිව යුතුය. පක්ෂ මාරුව සඳහා ලබාදී තිබෙන තීන්දු ඒ සඳහා දැක්විය හැකි එක නිදර්ශනයක් පමණය.

සරත් නන්ද සිල්වා අධිකරණයේ තමන්ගේ පාලන කාලය තුළ තමන් දෙන ලද තීන්දු ගැනද මෙම සම්මුඛ සාකච්ඡුාවේදී මහා උජාරුවකින් කතා කර තිබුණි. ඔහු පුම්බන්නට හදන ජනමාධ්‍ය එහිදී මුළුමනින් අමතක කර තිබෙන වැදගත් කාරණයක් වනුයේ ජිනීවාහි මානව හිමිකම් කමිටුව විසින් විමර්ශනය කොට ලංකාවට එරෙහිව දෙන ලද තීරණ හයෙන් හතරක්ම සරත් නන්ද සිල්වාගේ අධිකරණ තීන්දුවලට එරෙහිව දෙන ලද තීරණ වන බවය.

ඔහු එස්.බී. දිසානායකගේ නඩුව ගැන පුරාජේරු ස්වරයකින් කතා කර තිබුණි. ඒ ගැන ඔහුගෙන් ප‍්‍රශ්න කළ ජනමාධ්‍යවේදියා අමතක කරන ලද කරුණක් වනුයේ එස්.බී. දිසානායකට අදාළව ඔහු විසින් දෙන ලද නඩු තීන්දුවට එරෙහිව ජිනීවාහි මානව හිමිකම් කමිටුව ඓතිහාසික වැදගත්කමක් ඇති නඩු තීන්දුවක් ලබාදී තිබෙන බවය. ඒ නඩු තීන්දුව පමණක් නොව ටෝනි එම්මානුවෙල්ට උසාවි අපහාස නීතිය යටතේ සිරදඬුවමක් ලබාදුන් නඩු තීන්දුව සම්බන්ධයෙන්ද එම මානව හිමිකම් කමිටුව ලබාදී තිබෙන තීන්දු උසාවි අපහාස නීතිය ලංකාවේ ක‍්‍රියාත්මක වන හිතුවක්කාරී හා නීති විරෝධී ස්වභාවය පෙන්නුම් කරන්නක් ලෙස සැලකිය හැකිය. සරත් නන්ද සිල්වා මෙම සම්මුඛ සාකච්ඡුාවේදී නරක විනිසුරුවරුන්ට එරෙහිව තමන් පවත්වාගෙන ගිය දැඩි ප‍්‍රතිපත්තිය ගැනද පුරාජේරු කතා කර තිබුණි. මා දන්නා තරමින් අධිකරණයේ සිටි නරකම විනිසුරුවරයා සරත් නන්ද සිල්වාය. ඔහු තමන්ගේ නඩු තමන්ම අසා තීන්දු දුන්නේය. දේශපාලන පක්ෂ සතුටුකිරීම සඳහා ඔවුන්ට නඩු නිමිති හදාදී ඒ සඳහා වන පෙත්සම් සකස් කළ යුතු ආකාරයද කියාදී ඒ පෙත්සම් තමා ඉදිරියේ විභාගයට ගෙන එම දේශපාලන පක්ෂවල කීර්තියට හේතුවන නඩු තීන්දු ලබා දුන්නේය. නඩු කියන්නන් අතර ඔහුගේ සිත්ගත් කාන්තාවන් සිටින අවස්ථාවලදී එවැනි සමහර කාන්තාවන් ලිංගික වශයෙන් අපහරණය කොට ඒ වෙනුවෙන් ගෙවන වන්දියක් වශයෙන් ඔවුන්ට වාසිදායක නඩු තීන්දු ලබා දුන්නේය. ඔහු තමන්ට තිබෙන අධිකරණ බලය තමන් නොකැමති අයගෙන් පළිගැනීමට හා පීඩාවට පත්කිරීමට යොදා ගත්තේය. ඔහු එක් අවස්ථාවකදී සැකයට හේතුවී සිටි රූපවාහිනී ආයතනයක හිමිකරුවකුට, රජය විසින් තහනම් කොට තිබූ එම ආයතනය වෙනත් ගැනුම්කරුවකුට විකිණීමට ඉඩදී ඒ වෙනුවෙන් ඔහුගෙන් තමන් සඳහා රූපවාහිනී නාලිකාවක් ලබාගත්තේය. එවැනි අධම තත්ත්වයක ලා සැලකිය හැකි අධිකරණ නායකයකු විනිශ්චයකරුවන්ගේ විනය ගැන කතා කරන විට අප සිනාසිය යුත්තේ කවර මුඛයෙන්දැ’යි ඔහු අපට කියා දිය යුතුය.

ටෝනි එම්මානුවෙල්

ඔහුගේ බිහිසුණු හා අධම ගණයෙහිලා සැලකිය හැකි නඩු තීන්දු අතර ඔහුගේ අගතිගාමී හා අධම ස්වභාවය උපරිම මට්ටමකින් පෙන්නුම් කරන නඩු තීන්දුව ටෝනි එම්මානුවෙල් සම්බන්ධයෙන් දී තිබෙන නඩු තීන්දුව ලෙස සැලකිය හැකිය. ටෝනි ඉංග‍්‍රීසි ටියුෂන් ගුරුවරයෙකි. ඔහු කලක් පෞද්ගලික ආයතනයක සේවය කොට එම ආයතනය සමග ඇති කරගත් ආරාවුලක් මත එම ආයතනයට එරෙහිව කම්කරු උසාවියේ නඩු කී පුද්ගලයෙකි. තමාගේ නඩුවට අදාළ උසාවි වාර්තා ලබාගැනීමට අවශ්‍ය වී ඒ සඳහා දරන ලද උත්සාහයන් ගණනාවක් අසාර්ථක වීමෙන් පසු ඒ ගැන අධිකරණ සේවා කොමිසමට ලිඛිතව පැමිණිලි කරමින් එම නඩු වාර්තා ලබාගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරදෙන ලෙස ඉල්ලා සිටියේය. ඔහු එක වරක් නොව කිහිප වරක්ම අධිකරණ සේවා කොමිසමට ඒ ගැන ලීවේය. කිසිදු සාධාරණ පිළිතුරක් ලබාගැනීමට නොහැකි වූ කල ඔහු අධිකරණ සේවා කොමිසමේ සභාපති (අගවිනිසුරු සරත් එන්. සිල්වා* හා එහි අනෙකුත් සමාජිකයන් දෙදෙනා (ඔවුන්ද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු වූහ.) වගඋත්තරකරුවන් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය. ඒ නඩුව නඩුවේ වගඋත්තරකරුවකු වූ අගවිනිසුරු සරත් නන්ද සිල්වා ප‍්‍රමුඛ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ අසන්නට නියම කර තිබෙන බව දැනගන්නට ලැබුණු විට ඔහු මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණ සේවා කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයන් තම පෙත්සමේ වගඋත්තරකරුවන් වන නිසා කොමිසමේ සාමාජිකයන් ඇතුළත් නොවන විනිශ්චය මණ්ඩලයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. ඒ කිසිවක් නොසැලකූ සරත් නන්ද සිල්වා ඒ නඩුව තමාද ඇතුළත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ විභාගයට ගෙන ටෝනි අධිකරණයට අපහාස කළේයැ’යි තීන්දු කොට ඔහුට එක් අවුරුදු සිරදඬුවමක් නියම කළේය. ටෝනිගේ නඩුව වෙනුවෙන් නීතිඥයෝ පෙනී නොසිටියෝය. නඩුව කතා කළේ ඔහුමය. අවසානයේ ගෙදර යන්න බලාගෙන අධිකරණය ඉදිරියට පැමිණි ටෝනිට පෙත්සම් විභාගය අවසන් වීමෙන් පසු හිරේ යන්නට සිදුවිය. ටෝනිගේ ප‍්‍රශ්නය ඉන් අවසන් වූයේය. ඔහු කරන ලද ඊනියා වරද වෙනුවෙන් ඔහුට දෙවැනි දඬුවමක්ද විඳින්නට සිදුවූයේය. හිරගෙදර ගිය වහාම බන්ධනාගාර නිලධාරීන් ඔහුට ඔහුගේ අතපය කැඩෙන තෙක් පහර දුන්නේය. ඒ නිසා ඔහුට දීර්ඝ කලක් රෝහල් ගතවී ප‍්‍රතිකාර ගන්නට සිදුවූ අතර මෙම දුෂ්ඨ ක‍්‍රියාදාමයේ බරපතළකම කොතරම් විශාලවීද කියනවා නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීතිඥයන් විනිසුරුවරුන් පිළිබඳ විෂය භාර ප‍්‍රධාන නිලධාරියා ලෙස සැලකිය හැකි ඩාටෝ පරම්කුමාරස්වාමි රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි ටෝනි බලන්නට ශ‍්‍රී ලංකාවට ආවේය. ඔහු ආපසු ලංකාවෙන් යන්නට පෙර ටාජ් සමුද්‍ර හෝටලයේදී පුවත්පත් සාකච්ඡුාවක් පවත්වන ලද අතර ටෝනි සම්බන්ධයෙන් අගවිනිසුරු සරත් නන්ද සිල්වා අනුගමනය කර තිබෙන අගතිගාමී ප‍්‍රතිපත්තිය විවේචනයට ලක්කරමින් ටෝනි නිදහස් කරගැනීම සඳහා නැවත අධිකරණය වෙත ප‍්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කරන ලෙස නීතිඥ සංගමයෙන් ප‍්‍රසිද්ධියේ ඉල්ලා සිටියේය. ලංකාවේ නීතිඥ සංගමයද මෙම සාහසික සිද්ධියේදී ඇස් වසාගෙන සිටින ප‍්‍රතිපත්තියක් අනුගමනය කළා මිස ටෝනිට සිදුකර තිබුණු අසාධාරණය ගැන එකම වචනයක්වත් කතා නොකළේය.

ටෝනිට දඬුවම් කරන ලැබූ අවස්ථාවේදී එම නඩු තීන්දුව ගැන මා කතුවැකියක් ලීවා මට මතකය. එය මාගේ පැවැත්ම පරදුවට තබා ලියන ලද බිහිසුණු කතුවැකියක් වීයැ’යි කිව හැකිය. මා ඉන් කියා සිටියේ රටේ නීතියක් තිබෙනවා නම් හිරේ යැවිය යුත්තේ අගවිනිසුරුවයා මිස ටෝනි නොවන බවය. ටෝනිගේ ඛේදවාචකය ඉන් අවසන් වන්නේ නැත. ඔහු සිරදඬුවම් සම්පූර්ණ කොට නිදහස් ලෝකයට එකතුවීමෙන් දින කිහිපයකට පසුව වෑන් රථයකින් පැමිණි සාහසික පිරිසක් ඔහු පැහැරගෙන යෑමට දරන ලද උත්සාහයකින් බේරී පලායෑමට ඔහු සමත් විය. ඒ නිසා ඇතිවූ කම්පනය ඔහුගේ සමස්ත ජීවිතය කෙරෙහිම බලපෑවේය. ටෝනිට ආරක්ෂාව ලබාදී ඒ ගැන වාර්තා කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම එම සිද්ධියෙන් පසුව ලංකා ආණ්ඩුවට දැනුම් දෙනු ලැබූවත් ජනාධිපතිනිය අතින් ඒ සඳහා වන ඵලදායි කිසිවක් සිදු නොවීය. මරණ බියෙන් තැතිගෙන සිටි ටෝනි කිසියම් කලක් ලංකාවේ සැඟවී සිට ආරක්ෂාව සඳහා හොංකොංවලට පලා ගොස් පසුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මැදිහත්වීම නිසා කැනඩාවේ දේශපාලන රැුකවරණ ලබාගත්තේය.

අදත් ඔහුගේ බිරිඳ හා දරුවන් ජීවත්වන්නේ කැනඩාවේය. ඉඳහිට ඔහුගේ බිරිඳද තවත් සමහර අවස්ථාවලදී ටෝනිද මට දුරකතනයෙන් කතා කරයි. ඒ සිද්ධි දාමයෙන් ඔහු තුළ ඇතිවී තිබෙන බිය තවමත් මුළුමනින් පහවී නැත. ඔහු සදාකාලික මානසික රෝගියකුගේ තත්ත්වයට පත්ව ඇතැ’යි කිව හැකිය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව ටෝනිගේ පෙත්සම විභාගයට ගෙන සරත් නන්ද සිල්වාගේ නඩු තීන්දුව අභියෝගයට ලක් කෙරෙන තීන්දුවක් ලබාදෙමින් ටෝනිට සිරදඬුවම් පමුණුවන ලද නඩු තීන්දුව මගින් ඔහුගේ මූලික අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය කර තිබෙන බැවින් ඔහුට සාධාරණ වන්දියක් ගෙවන ලෙස නියම කරමින් ලංකාවේ භාවිත කරන උසාවි අපහාස නීතිය මානව හිමිකම් උල්ලංඝනයන්ට ඉඩ නොලැබෙන පරිදි සංශෝධනය කොට එය මානව හිමිකම් කොමිසම වෙත වාර්තා කරන ලෙස ලංකා ආණ්ඩුවට දැනුම් දී තිබේ. ශ‍්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දෝෂදර්ශනයට ලක්වීම ආරම්භවන්නේ එල්ටීටීඊයට එරෙහිව කෙරෙන යුද්ධය අවසන්වීමෙන් පසුව නොව එය සරත් නන්ද සිල්වාගේ අධිකරණ පාලන කාලයේ සිටම ඔහුගේ අගතිගාමී නඩු තීන්දු මුල් කොටගෙන ඇතිව තිබෙන තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.



2013/12/22 Nissanka Rajapaksa <nraja...@gmail.com>

Nissanka Rajapaksa

unread,
Dec 29, 2013, 10:11:49 AM12/29/13
to ind...@googlegroups.com
වික්ටර් අයිවන්ගෙ ඉහත ලිපියේ අග කොටසේ කිවෙන ටෝනි එම්මානුවෙල්ගෙ කතන්දරය අපි ඉන්න සමාජය ගැන හොඳ විවරනයක් ඉදිරිපත් කරනව. ඒ සිද්ධිය ගැන වැඩි විස්තර හොයා බැලුවාම ඇඟ කිලිපොලා යන තරම්.
අන්තර්ජාතික මැදිහත්වීම් වලට එරෙහිව සටන් කරන වීරෝධාර සංස්කෘතියකට උරුම කියන අපි පෝෂණය කරමින් ඉන්නෙ මේ මජර ක්‍රමයම නේද? 
ඒ සිද්ධිය ගැන වැඩි විස්තර .......



2013/12/29 Nissanka Rajapaksa <nraja...@gmail.com>

Nissanka Rajapaksa

unread,
Jan 4, 2014, 10:45:44 PM1/4/14
to ind...@googlegroups.com

අඬමුද? සිනාසෙමුද?

වික්ටර් අයිවන් [Sunday, January 5, 2014]

සාකච්ඡාවට ලක් කළ යුතුව තිබෙන වඩා වැදගත් දේවල් තිබියදී (විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂ සම්මේලනය ගෙන තිබෙන තීරණය, කතෝලික බිෂොප් සම්මේලනය නිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනයක් මගින් රටේ පවතින දූෂිත දේශපාලන ක‍්‍රමය විචාරයට ලක්කරමින් රාජ්‍ය පාලකයා නීතියට යටත් තත්ත්වයට ගෙන ඒමේ වැදගත්කම අවධාරණය කිරීම, බෞද්ධ සංස්කෘතික පුනර්ජීවන කමිටුවේ වාර්තාව) ඒවා ගැන කතා නොකොට තවදුරටත් සරත් නන්ද සිල්වා කෙනෙකු ගැන කතා කරන්නට සිදුවීම සතුටට හේතු නොවන කරුණක් වුවද ඒ දේවලට යන්නට පෙර සරත් නන්ද සිල්වා ගැන ආරම්භ කළ සාකච්ඡුාව අවසානයක් කරා ගෙන යායුතුය.

එස්.බී. හිරේ යැවීම

එස්.බී. දිසානායක සමග මටද බරපතළ මතභේද තිබුණි. අප දෙදෙනා අතර බරපතළ ගැටුම්ද තිබුණි. එහෙත් ඔහුට එරෙහිව ඇසුණු උසාවි අපහාස නඩු විභාගයේදී තිබුණු පරණ කෝන්තර නොසලකා මගේ පෑන පාවිච්චි කළේ ඔහුට පක්ෂපාතවය. එය පීඩකයකු පීඩිතයකුගේ තත්ත්වයට පත්ව සිටි විශේෂ අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

ඒ මොහොතේ සරත් නන්ද සිල්වාට අවශ්‍ය වී තිබුණේ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ දේශපාලන අවශ්‍යතාව සම්පූර්ණ කරන ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමය. චන්ද්‍රිකාට එරෙහිව නැගී සිටි එස්.බී. දඬුකඳේ ගසන ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක කිරීම මගින් ජනාධිපති චන්ද්‍රිකාගේ අවශ්‍යතාව සම්පූර්ණ කරදීමය. එම නඩුවට මුහුණදීමේදී එස්.බී. පළමු කොට තෝරාගෙන තිබුණේ අගවිනිසුරු සරත් නන්ද සිල්වා අභියෝගයට ලක්කරන සටන්කාමී ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක කිරීමය. ඔහු ඒ සඳහා මහත් උනන්දුවකින් සූදානම් වූ බවක්ද පෙනෙන්නට තිබුණි. එස්.බී. දිසානායකට වඩා සරත් නන්ද සිල්වා තෙම්පරාදු වූ පුද්ගලයකු ලෙස සැලකිය හැකිය. එස්.බී. දිසානායක මෙම නඩුවේදී තමන්ට අභියෝග කරමින් තමන්ගේ කුණු අවුස්සන තැනකට යනවා දකින්නට ඔහුට අවශ්‍ය නොවීය.

එස්.බී. හීලෑකර ගැනීම සඳහා මේ නඩුවේදී ඔහු සමග පස්සා දොරෙන් ගනුදෙනු කරන තැනකට ඔහු ගියේය. කරන ලද වරදට සමාව ඉල්ලන ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නම් මන්ත‍්‍රීකමට හානියක් නොවන ලෙස අත්හිටුවූ ලිහිල් දඬුවමක් ලබාදීමට තමා සූදානම් බව ඔහු එස්.බී.ට දැනුම් දුන්නේය. එස්.බී. සරත් සිල්වාගේ ලණුව කෑවේය. තමා වෙනුවෙන් පෙනීසිටි නීතිඥයාගේ උපදෙස්වලටද පටහැනිව තමා අනුගමනය කරන්නට සැලසුම් කර තිබූ සටන්කාමී පිළිවෙත අතහැර අත්හිටුවූ ලිහිල් දඬුවමක් ලබාගැනීමේ අරමුණින් වරද පිළිගත්තේය.

තම නඩුවේ තීන්දුව ප‍්‍රකාශ කිරීමට නියමිතව තිබූ දිනයට ආසන්න දිනයක මට එස්.බී. දිසානායක මහාචාර්ය ජී.ඇල්. පීරිස්ගේ නිවසේදී හමුවිය. ඒ සාකච්ඡුාවට හිටපු අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයකු වූ නිහාල් ජයවික‍්‍රමද සහභාගි විය.

ඔහු අපේක්ෂා කරන තීන්දුව කුමක්දැ’යි මම ඍජු ලෙස එස්.බී.ගෙන් විමසා සිටියෙමි. අත්හිටුවූ ලිහිල් දඬුවමක් ලබාදීමට සරත් නන්ද සිල්වා පොරොන්දු වී ඇති බැවින් ඔහු ඒ පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉටුකරනු ඇති බව කියා සිටියේය. ඔහු දෙන ලද පිළිතුර මගේ සිනහවට හේතුවිය. අත්හිටුවූ සිරදඬුවමක් වෙනුවට හිරේට යන්න බලාගෙන එදිනට උසාවි යන ලෙස මම ඔහුගෙන් ඉල්ලා සිටියෙමි. සරත් නන්ද සිල්වාට එස්.බී. වැදගත් පුද්ගලයකු විය හැකි වුවත් තෝරාගත යුත්තේ එස්.බී. ද ජනාධිපතිනි චන්ද්‍රිකා ද යන ප‍්‍රශ්නය මතුවන අවස්ථාවකදී සරත් නන්ද සිල්වා තෝරාගනු ඇත්තේ චන්ද්‍රිකා බවද කියා සිටියෙමි. මගේ ප‍්‍රතිචාර එස්.බී. තුළ බලවත් කම්පනයක් ඇති කිරීමට හේතුවූවා විය යුතුය. සුළු මොහොතකට වහාම එස්.බී. අප සිටි ස්්ථානයෙන් ඉවත්ව ගියේය. ඒ අවස්ථාව ප‍්‍රයෝජනයට ගෙන ජී.එල්. පීරිස් මට දොස් කීවේය. මා ඒ ආකාරයෙන් එස්.බී.ට කතා නොකළ යුතු බව ඔහු කීවේය. මගේ කතාව ඔහු තුළ බලවත් කම්පනයක් ඇති කරන්නට ඇති බව කීවේය. එස්.බී. ඉන්නේ මනෝරාජික තත්ත්වයක නම් ඔහුට ආධාර කරන හිතවතුන්ගේ යුතුකම ඔහු ප‍්‍රකෘති ලෝකයට ගැනීම බව මම ඔහුට කියා සිටියෙමි. මගේ මතය ජී.එල්. පීරිස් පිළිගත්තේ නැතත් නිහාල් ජයවික‍්‍රම පිළිගත්තේය.

මගේ මත දැක්වීම ඒ මොහොතේදීත් එස්.බී. තුළ බලවත් කම්පනයක් ඇති කිරීමට හේතුවූවා විය හැකි වුවත් ඔහු තීන්දුව ප‍්‍රකාශ කිරීමට නියමිත දිනයේදී උසාවි ගියේ මහත් විශ්වාසයකින් යුතුව ලිහිල් දඬුවමක් ලබාගෙන නැවත ගෙදර එන්නට බලාගෙනය. ඒ සඳහා අවශ්‍ය පිළිගැනීම්ද සංවිධානය කර තිබුණි. අවසානයේ ඔහුගේ ගමන කෙළවර වූයේ එස්.බී. අපේක්ෂා කළ තැනින් නොව මා පුරෝකථනය කරන ලද තැනිනි.

එය අධිකරණ නායකයකු විසින් තමාට තිබෙන බලය නීතියට පටහැනිව යොදාගනු ලැබූ ප‍්‍රබල අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. එස්.බී. දිසානායක, ටෝනි වැනි සාමාන්‍ය පුද්ගලයෙක් නොවීය. එදා දේශපාලන අඹරේ සිටි කැපී පෙනෙන ඉතා බලවත් පුද්ගලයෙක් විය. සරත් නන්ද සිල්වාට අධිකරණ බලය යොදාගෙන රාජ්‍ය බලය හිමිකර ගැනීමට හැකියාවක් තිබුණේ නම් ඔහු රටේ පාලකයා වන්නටද ඉඩ තිබුණි. ඔහු ඒ තරමටම තමාට තිබෙන අධිකරණ බලය අයථා ලෙස පාවිචිච්චි කළ පුද්ගලයෙක් විය.

ස්වාමි දුවට දෂ්ට කිරීම

ඔහුගේ බෙල්ල හොඳටම හිරවී තිබුණු අවස්ථාවකදී ඔහු ගලවාගනු ලැබුවේ ජනාධිපතිනි චන්ද්‍රිකාය. අවසානයේ ඇය අවලංගු කාසියක් බවට පත්කළේද ඔහුය. සරත් නන්ද සිල්වා තුළ චන්ද්‍රිකා කෙරෙහි වෛරයක් ඇති කිරීමට හේතුවූ කාරණය පිළිබඳව මා අසා තිබෙන රසවත් කතාවක් මෙසේය.

විනිසුරුවරුන්ගේ සුබ සිද්ධිය හා අධිකරණ ප‍්‍රතිසංස්කරණ පිළිබඳව විනිසුරුවරුන්ගේ නියෝජිත පිරිසක් සමග අගවිනිසුරු සරත් නන්ද සිල්වා සහභාගි වූ සාකච්ඡුාවකදී ජනාධිපතිනිය ඒ සියලූදෙනා ඉදිරියේ සරත් නන්ද සිල්වා තුළ කාන්තාවන් කෙරෙහි ඇති ගිජුබව පෙන්නුම් කෙරෙන ආකාරයට කරන ලද සඳහනක් එම වෛරයට හේතුවී තිබේ. ජනාධිපතිනි චන්ද්‍රිකාට තිබුණේ තිරිංග රහිත කටකි. ඇගේ ඒ කටින් ඕනෑම අවස්ථාවකදී ඕනෑම දෙයක් පිටවීමේ හැකියාව තිබුණි. සරත් නන්ද සිල්වා කාන්තාවන් ගැන දක්වන සීමාරහිත මජරකම ඔහු ඇසුරු කරන හැම කෙනෙක්ම දැනසිටියෝය. එය ඔහුගේ චරිතයේ ප‍්‍රබල ලක්ෂණයක් විය. ඒ විෂයයේදී ඔහුගේ හැසිරීම තනතුරේ ගෞරවයට නොගැළපුණේය. ඒ බව ජනාධිපතිනියද දැන සිටියාය. ඇය හාස්‍යයෙන් ඒ ගැන යමක් කියා තිබෙන්නේ සරත් නන්ද සිල්වා තනිව හමුවූ අවස්ථාවකදී නොව ඔහු සමග වැඩ කරන වෙනත් විනිසුරුවරුන් පිරිසක්ද සිටියදීය. මෙය සරත් නන්ද සිල්වාගේ කෝපයට හේතුවී තිබෙන අතර මේ සභාවෙන් පිටවී යන අතර ඔහු සමග ගමන් ගනිමින් සිටි තවත් විනිසුරුවරයකුට කියා ඇත්තේ ‘‘මේ බැල්ලිට හොඳ පාඩමක්’’ උගන්වන බවය. අවසානයේ ඔහු ඇයට එම පාඩම ඉගැන්වීය. 

ඔහු ‘මව්බිම’ පුවත්පත සමග කරන ලද සම්මුඛ සාකච්ඡුාවේදීද කියා ඇති පරිදි ජනාධිපතිනිය විසින් කරන ලද දිවුරුම් දීම් දෙකේදීම එම දිවුරුම් දීම්වල උපදේශකයා ලෙස ක‍්‍රියාකර ඇත්තේ ඔහුය. එම දිවුරුම් දීම් දෙකම ධුරයට හා ධුර කාලයට අදාළ ප‍්‍රශ්න විසඳාගැනීම සඳහා කරන ලද දිවුරුම් දීම් බවද පිළිගනී. එම දිවුරුම් දීම් දෙකේදී ඔහුගේ දායකත්වය එසේ වී නම් ඇගේ ධුර කාලය අවසන්වන්නේ කවදාද යන ප‍්‍රශ්නය නිරාකරණය කරන නඩු විභාගයක ඔහු විනිශ්චය මණ්ඩලයේ ප‍්‍රධානියා ලෙස ක‍්‍රියා කළේ කෙසේද? තමන්ගේ නඩුවක තමන්ට විනිසුරුවරයා විය නොහැකිය. එය ස්වාභාවික යුක්තියේ පිළිගත් මූලධර්මයකි. එම මූලධර්මය සරත් නන්ද සිල්වා අතින් උල්ලංඝනය වූ එකම අවස්ථාව එය නොවීය. එය තවත් එක අවස්ථාවක් වූවා පමණය. ඔහුට අවශ්‍ය වූයේ ඒ වනවිට ඔහුගේ වෛරයට හේතුවී සිටි, තමන්ගේ බෙල්ල හිරවී තිබුණු අවස්ථාවක ඒ තත්ත්වයෙන් තමා ගලවාගත් තමාගේ දේශපාලන ස්වාමිදුවගේ පැවැත්ම අවලංගු කිරීමය. ජනාධිපතිනිය ජනාධිපතිවරණය පැවැත්විය යුතු කාලවකවානුව පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථකථනයක් ඉල්ලා සිටි විට (එහිදී තමාගේ වාසියට හේතුවන අර්ථකථනයක් සරත් නන්ද සිල්වා විසින් දෙනු ඇතැ’යි ඇය විශ්වාස කළාය.) සරත් නන්ද සිල්වා කළේ එය තමාට හිතවත් හිමිනමක ලවා ගෙන්වාගත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් සමග (ඒ පෙත්සමේ අන්තර්ගතයද ඔහුගේ නිර්මාණයක් වූ බවට කිසිදු සැකයක් තිබිය නොහැකිය.) එකට විභාගයට ගෙන තමන්ගේ වෛරයට හේතුවී සිටි ජනාධිපතිනියගේ පැවැත්ම අහෝසි කර, ඊළඟ නායකයා වන්නට සිටි මහින්ද රාජපක්ෂගේ කරේ එල්ලීමටද එය අවස්ථාවක් කරගැනීමය. මහින්ද සමග සරත් නන්ද සිල්වාට දීර්ඝකාලීන සම්බන්ධයක් තිබුණද චන්ද්‍රිකා බලයට පත්වී ඇගේ කරේ එල්ලීමෙන් පසු ඔහු මහින්ද සමග පවත්වාගෙන ආ සම්බන්ධයෙන් බොහෝ ඈත්වී සිටියේය. නැවත මහින්දගේ කරේ එල්ලූණේ සිය පැරණි දේශපාලන ස්වාමිදුවගේ දේශපාලන ගෙල සිඳ දැමීමෙන් පසුවය. අගවිනිසුරුවරයෙකු විසින් තමන්ට තිබෙන බලය අයථා ලෙස පාවිච්චි කරමින් ජනාධිපතිවරයකුගේ පැවැත්ම අවලංගු කරන ලද විශේෂ අවස්ථාවක් ලෙස එය ලෝක අධිකරණ ඉතිහාසයට එකතුවිය යුතු දෙයක් ලෙස සැලකිය හැකිය. විශ‍්‍රාම වැටුපේ ප‍්‍රහේළිකාව

ලංකාවේ සිටින විශ‍්‍රාම ගිය රාජ්‍ය සේවකයන් අතුරින් වැඩිම විශ‍්‍රාම වැටුප ලබන පුද්ගලයා සරත් නන්ද සිල්වාය. මසකට ඔහුට ලැබෙන විශ‍්‍රාම වැටුපේ ප‍්‍රමාණය රුපියල් 150,000ක් හෝ ඊට ආසන්නය. ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයන් සඳහා ක‍්‍රියාත්මක වන පිළිගත් වැටුප් ප‍්‍රතිපත්ති අනුව ඒ තරමේ විශාල විශ‍්‍රාම වැටුපක් ලබන කිසිම පුද්ගලයකු රටේ සිටිය නොහැකිය. එය වැදගත් දේශපාලන ප‍්‍රහේළිකාවක් ලෙස සැලකිය හැකි අතර විසඳා ගැනීමට පුළුවන්වනු ඇත්තේද පිළිකුල් භාවනාවද ප‍්‍රගුණ කළ විමර්ශකයකුට පමණය. ශ‍්‍රී ලංකාවේ පවතින දූෂිත දේශපාලන ක‍්‍රමය තුළ නිල බලය දරන්නන් තමන්ගේ ආත්මාර්ථකාමී අරමුණු වෙනුවෙන් සිය නිල බලය යොදාගෙන තිබෙන පරිමාව පිළිබඳව යම් අදහසක් ඒ මගින් ඇතිකරගත හැකිය. විශ‍්‍රාම යන්නට පෙර ඔහු විනිසුරුවරුන්ට ලැබෙන වැටුප් වැඩිකර ගැනීම සඳහා සටන් කළේය. එහි යටි අරමුණ වූයේ අන් අයටද යමක් ලබාදෙන අතර තමාගේ වැටුප රාජ්‍ය සේවකයන් සඳහා ක‍්‍රියාත්මක වැටුප් ප‍්‍රතිපත්ති හා මූලධර්මවලට පටහැනිව අසාමාන්‍ය ලෙස වැඩිකර ගැනීමය. මේ සඳහා භාණ්ඩාගාරයේ අනුමැතිය අත්‍යවශ්‍ය වුවත් ලංකාවේ රාජ්‍ය සේවකයන් සඳහා ක‍්‍රියාත්මක වන එකට හතරේ අනුපාතිකයට එය පටහැනි නිසා භාණ්ඩාගාර ලේකම් ජයසුන්දර ඊට තරයේ විරුද්ධ වන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේය. එම ආරාවුල කෙළවර වූයේ අධිකරණ නියෝගයක් මගින් භාණ්ඩාගාර ලේකම් ජයසුන්දරගේද තනතුර අහිමිවන තත්ත්වයක් ඇති කිරීමෙනි. ඉන්පසු බොහෝ අවලස්සන දේවල් සිදුවූයේය. භාණ්ඩාගාර ලේකම් සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වූ දැඩි ප‍්‍රතිපත්තිය නිසා උසස් රාජ්‍ය නිලධාරීන් අගවිනිසුරු ඉදිරියේ කකුල් වෙව්ලන තත්ත්වයකට පත්ව සිටියේයැ’යි කිව හැකිය. ජයසුන්දරගේ අනුප‍්‍රාප්තිකයා සිටියේද බියෙන් වෙව්ලන තත්ත්වයකය. මෙම විශේෂ වටාපිටාව තුළ ඔහු බොහෝ දේ තමා සඳහා කරගත්තේය. සාමාන්‍යයෙන් විශ‍්‍රාම යන රාජ්‍ය නිලධාරියෙකුට තීරුබදු රහිත වාහනයක් සඳහා අවසර පත‍්‍රය ලැබෙන්නේ විශ‍්‍රාම යෑමෙන් පසුවය. එහෙත් ඔහු විශ‍්‍රාම යන්නට පෙරම ජයසුන්දරගේ අනුප‍්‍රාප්තිකයාගෙන් එය තමා වෙත ගෙන්වා ගත්තේය. එය නියෝග කිරීමක් හා නියෝග පිළිපැදීමකට සමානය. සරත් සිල්වාට පිළිගත් වැටුප් ප‍්‍රතිපත්තිවලට පටහැනිව අසාමාන්‍ය තරමේ විශ‍්‍රාම වැටුපක් ලැබීමේ රහස සොයා ගැනීමට හැකිවනු ඇත්තේ ඔහු විසින් ඇති කරන ලද මෙම විශේෂ වටාපිටාවද සැලකිල්ලට ගන්නේ නම් පමණය.

අගවිනිසුරු නිරුවතින්

සරත් නන්ද සිල්වා ගැන කතා කරන්නට තවත් බොහෝ දේ ඇතත් ඔහු ගැන කරන සංවාදය මේ ලිපියෙන් අවසන් කිරීමට අවශ්‍ය වන නිසා ඔහු සිය අශීලාචාරභාවය හෝ අසික්කිතභාවය උපරිම මට්ටමකින් ප‍්‍රදර්ශනය කරන අවස්ථාව ලෙස සැලකිය හැකි ඔහුගේ දියවන්නා ඔය රංගනය ගැන දැන් කතා කළ හැකිය.

ඔහු මව්බිමට ඒ ගැන කියා ඇත්තේ එය මා විසින් හා ලසන්ත වික‍්‍රමතුංග විසින් නිර්මාණය කළ අසත්‍ය කතාවක් හැටියටය. මව්බිම වෙනුවෙන් ඔහුගෙන් ප‍්‍රශ්න කරන ජනමාධ්‍යවේදියා ඒ ගැන ප‍්‍රශ්න කර තිබෙන ආකාරය සේ ම ඔහු ඊට පිළිතුරු දී තිබෙන ආකාරයද ඊටත් වඩා එය වාර්තාකර තිබෙන ආකාරයද රසවත්ය. උපුටාගත් කොටසක් මෙසේය.

ඔබගේ චරිතයට හානිවන ආකාරයෙන් දියවන්නාවේ සිද්ධියක් ගැන එකල පුවත්පත්වල පළවුණා?
ඔව්. ඒක පළකළේත් වික්ටර් අයිවනුයි, ලසන්ත වික‍්‍රමතුංගයි. ඒක කරලා ඉවර වෙලා මට කිව්වා මහා දරුණු චෝදනාවක්. පරීක්ෂණයක්.
මොකද්ද ඒ සිද්ධිය?
නෑ ඒක වුණේ මම මේ ? අටට විතර කවුද කාන්තාවක් එක්ක දියවන්නාව අයිනේ හිටියයි කියලා.
ඒක වරදක්ද?
ඒක යහපත් දෙයක් (සිනාසෙයි) කාන්තාවක් හිටියොත් මාත් එක්ක. (සිනාසෙයි) නැති එකයි ප‍්‍රශ්නේ. වික්ටර් අයිවන් පස්සේ දානවා නිර්වස්ත‍්‍රව හිටියා කියලා. නිර්වස්ත‍්‍රව මිනිස්සු රෑ අටට දියවන්නාව ගාව ඉන්නේ නැහැ. මනස්ගාතයක්.
ඔහු කියන අන්දමට ඔහු පොලිස්පතිවරයාගෙන් පරීක්ෂණයක් ඉල්ලා සිටියේ අප ඒ ගැන කරන ලද වාර්තාකරණයෙන් පසුවය. ඇත්ත වශයෙන්ම අප ඒ ගැන සොයා බලන තැනකට ගියේද, ඒ ගැන වන අපේ වාර්තා පළවූයේද ඔහු පොලිස්පතිට කළ පැමිණිල්ල සියලූම ජනමාධ්‍යවල පළවීමෙන් පසුවය. දියවන්නා ඔය රංගනය සිදුවී තිබුණේ 2004 ජූලි 6 වැනිදා රාත‍්‍රියේය. ජූලි 7 වැනිදා හිමිදිරිය වනවිට දියවන්නාඔය සිද්ධිය කටකතාවක ස්වරූපයෙන් සියලූ ජනමාධ්‍යවලට අසන්නට ලැබී තිබුණි. එම කටකතාවෙන් අසන්නට ලැබුණු කතාව මෙසේය. පෙරදින රාත‍්‍රියේදී දියවන්නා ඔය මාර්ගයේ පාළු තැනක නවතා තිබූ මෝටර් රථයක් පොලිසිය විසින් පරීක්ෂා කිරීමේදී අඩ නිරුවතින් සිටින ජෝඩුවක් ඔවුන්ට අසුවී වැඩිදුර කරුණු පරීක්ෂා කිරීමේදී අඩනිරුවතින් සිටි පිරිමියා අගවිනිසුරු සරත් නන්ද සිල්වා බව පොලිසියට හෙළිවී තිබේ.

මෙම සිද්ධිය සිදුවූ දිනට පසුදිනම විද්‍යුත් ජනමාධ්‍ය පළකළ වාර්තාවක් මෙම කටකතාවට අලූත් නිල වටිනාකමක් ලබාදීමට හේතුවී තිබුණි. විද්‍යුත් ජනමාධ්‍ය අගවිනිසුරුවරයා පොලිස් පතිවරයාට කරන ලද්දේය කියන පැමිණිල්ලක් ප‍්‍රසිද්ධ කළේය. එම ප‍්‍රවෘත්තියෙන් කියන ලද කතාව වූයේ තමා 6 වැනිදා රාත‍්‍රියේ නතර කර තිබූ වාහනයක සිටියදී පොලිස් සෝදිසියට ලක්වූ බව කියන කතාවක් ගැන පුද්ගලයන් කිහිපදෙනකු විසින් තමාගෙන් දුරකතනයෙන් කරුණු විමසූ බවත් මෙම කතාව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නඩු කිහිපයකට සම්බන්ධ පිරිසක් තමා අපකීර්තියට පත්කිරීමේ අදහසින් අරඹා ඇති ව්‍යාපාරයක් බව ප‍්‍රකාශ කරමින් ඒ ගැන විශේෂ පොලිස් පරීක්ෂණයක් සිදුකරන ලෙස අගවිනිසුරුවරයා ලිඛිත පැමිණිල්ලකින් පොලිස් පතිවරයාගෙන් ඉල්ලා තිබෙන බවය. මේ සිද්ධියේ ඇත්ත නැත්ත සොයා බලන තැනකට යායුතුයැ’යි කියන අදහස මා ඇතිකර ගත්තේ විද්‍යුත් ජනමාධ්‍ය ඔස්සේ අගවිනිසුරුවරයාගේ එම පැමිණිල්ල ප‍්‍රකාශ වීමෙන් පසුවය. අගවිනිසුරුවරයා එදා කරන ලද මෙම පැමිණිල්ලේදී මෙම කටකතාව නිර්මාණය කළ පුද්ගලයා මා බව ඍජු ලෙස හෝ අනියම් ලෙස සඳහන් කර නැත. ඒ වෙනුවට ඔහු කියා තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නඩු කිහිපයකට සම්බන්ධ පිරිසක් තමා අපකීර්තියට ලක්කිරීමේ අදහසින් එසේ කරන ලද බවය.

වැදගත්ම දේ, මේ සිද්ධිය පළමුවෙන්ම එනම් සිද්ධිය වූ පසුදිනම ජනාධිපතිනියට දැනගන්නට සලස්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ විමල් වීරවංශ විසිනි. ඔහු ඍජු ලෙස ජනාධිපතිනියට කතා කරනවා වෙනුවට කතා කළේ ජනාධිපතිනියගේ කාර්ය මණ්ඩලයේ ප‍්‍රධානියාටය. අගවිනිසුරුවරයා පෙරදින රාත‍්‍රියේ දියවන්නා ඔය ප‍්‍රදේශයේදී පාළු තැනක නවතා තිබූ මෝටර් රථයක තවත් කාන්තාවක සමග අඩ නිරුවතින් සිටියදී පොලිස් පරීක්ෂාවට ලක්ව තිබෙන බවත් මෙම සිද්ධිය පුවත්පත්වල පළවෙනු ඇති බවත් එය ආණ්ඩුව කෙරෙහි විශාල අපකීර්තියක් ඇති කිරීමට හේතුවන කතාවක් බවට පත්වනු ඇති බවත් අගවිනිසුරුවරයාගේ හැසිරීමට දොස් තබමින් ඔහු ජනාධිපතිනියගේ කාර්ය මණ්ඩලයේ ප‍්‍රධානියාට පවසා තිබේ. කාර්ය මණ්ඩලයේ ප‍්‍රධානියා එය සත්‍ය සිදුවීමක් බව විමල් වීරවංශගෙන් තහවුරු කරගැනීමෙන් පසු ජනාධිපතිනිය හමුවී විමල් වීරවංශගෙන් ලැබුණු පුවත ඇයට සැලකළේය. ඒ කතාව අසා ඇය විස්මයට පත්වී අගවිනිසුරුවරයාගේ ජීවන රටාව ගැන දෝෂාරෝපණාත්මක ආකාරයකින් කතා කරන ලද බවද කියනු ලැබේ. සරත් නන්ද සිල්වාගේ සමීප සගයකුගෙන් දැනගන්න ලැබුණු ආකාරයට මෙම සිද්ධිය ජනමාධ්‍ය ආයතනවලට හෙළි කළ පුද්ගලයා ලෙස ඔහු (සරත් නන්ද සිල්වා) හඳුනාගෙන තිබුණේ මහින්ද රාජපක්ෂය.

මෙම සිද්ධියේ ඇත්ත නැත්ත සොයා බලන තැනකට මා යොමුවූයේ සරත් නන්ද සිල්වා පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ල ජනමාධ්‍ය මගින් ප‍්‍රකාශයට පත්කිරීමෙන් පසුවය. ඒ ගැන සොයා බලන ක‍්‍රියාවලියට සන්ඬේ ලීඩර් පුවත්පතද එකතු විය. මූලික විමර්ශන කටයුතු වැඩි හරියක් කරන ලද්දේ මාය. සරත් සිල්වා සමග සිටි කාන්තාවගෙන් ප‍්‍රශ්න කිරීම හා ඇය ඇගේ ජංගම දුරකතනයෙන් සිද්ධිය සිදුවන්නට පෙර හා පසු සරත් නන්ද සිල්වාට කතා කර තිබෙන වාර ගණන සොයා ගැනීම වැනි පසුවිපරම් කටයුතුවලින් වැඩි හරියක් කරන ලද්දේ සන්ඬේ ලීඩර් පුවත්පතේ ෆ්‍රෙඞ්රිකා ජෑන්ස්ය.

පොලිස් පරීක්ෂාව

පළමු වැදගත් දේ වූයේ මිරිහාන පොලිස් අණදෙන තොරතුරු කොට්ඨාසයේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක වීරසේන විතානගේ සිය දෛනික තොරතුරු සටහන් පොතේ ලියා තිබුණු සටහනේ පිටපතක් ලබාගැනීමට සමත්වීමය.

එහිවූ සටහන මෙසේය.

දිනය : 2004.07.06 පැය 21.25කි. පිටුව 262 ෙඡ්දය 968.

‘‘මා උ/ප‍්‍ර.පො.ප. වීරසේන විතානගේ. පරිගණක අංශයෙහි රාජකාරි කටයුතු සඳහා ස්ථානයට ඒමට මම මගේ ජයවඩනගම පෞද්ගලික නිවසින් පිටත්ව දියවන්නා මාර්ගය ඔස්සේ නාගහමුල්ල ප‍්‍රදේශයෙන් ප‍්‍රධාන මාර්ගයට යතුරුපැදියේ ගමන් කරමින් සිටි අවස්ථාවේදී දැඩි අන්ධකාරය පැවති මෙම දියවන්නා මාර්ගයේ පාපැදිවලින් පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් කළු වර්ණ මෝටර් රථයක් දැඩි අපහසුතාවකින් පරීක්ෂා කරනු දුටු බැවින් මා එම මාර්ගයේ දකුණුපසට වන්නට එම රථය ඉදිරියෙන් මගේ යතුරුපැදිය නවතා එම පොලිස් නිලධාරීන්ට රථය පරීක්ෂා කිරීමට පහසුවන පරිදි මගේ යතුරුපැදියෙන් ඉදිරි ප‍්‍රධාන ලාම්පුව දල්වා තබමින් උපකාරී වූ අතර, එම රථයේ සිටි තරුණ කාන්තාවකගෙන් දැඩි අපහසුතාවකින් පොලිස් නිලධාරියකු හැඳුනුම්පත ලබාගත් අතර, එම රථයේ වම්පස අසුනේ සිටි මහලූ වයස ඇති ටයිපටියක් පැළඳි පුද්ගලයා විසින් ඔහුගේ අනන්‍යතාව ඉදිරිපත් කිරීම සඳහා කිසිදු හැඳුනුම්පතක් ලබා නොදීම නිසා එම නිලධාරීන් දැඩි අපහසුතාවකට ලක්ව ප‍්‍රශ්න කිරීමේදී දැඩි කෝපයෙන් මෙම පුද්ගලයා විසින් තමන් සරත් නන්ද සිල්වා බව දැනුම්දීමෙන් පසුව රථය පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කිරීම නවතා නිදහස් කළ අතර, ඉහත පරීක්ෂා කිරීම සඳහා සහභාගි වූ නිලධාරීන් වන තලංගම පොලිස් ස්ථානයේ පො.කො. 32054 පුෂ්පකුමාර, පො.කො. 36010 විජේරත්න, උ.පො.කො. 25043 සේනාරත්න, උ.පො.කො. 25332 ලක්සිරි යන නිලධාරීන් සම්බන්ධ වූ අතර ඉහත සෝදිසි කළ අංක උඡුන්‍් 8720 කාර් රථය අංක 25/07 හයිලෙවල් පාර කිරුළපන, කොළඹ 06 ලිපිනයෙහි පදිංචිකාරිය විසින් පදවන ලද අතර වම්පස අසුනේ සරත් නන්ද සිල්වා මහතා පමණක් රථයේ සිටි අතර මෙම රථය පැය 21.00ට පමණ මගේ දර්ශනයට ඉහත නිලධාරීන් සමග දකින්නට ලැබුණි. ඉහත කරුණු සම්බන්ධයෙන් මා එම නිලධාරීන්ගේ ඉල්ලීම පරිදි ඔවුන්ගේ සාක්කු සටහන් පොතේ අත්සන් කරන ලදි. මා එම ස්ථානයට ගිය යතුරුපැදි අංක ඨශ 5179 ධාවන අංක 2442. අත්සන් කළේ උ/ප‍්‍රා පො ප වීරසේන.’’

අපේ පරීක්ෂණය

මෙම සෝදිසි කිරීමේ සිද්ධියට ප‍්‍රධාන පොලිස් පරීක්ෂකයා සම්බන්ධ වී තිබෙන්නේ අහඹුවක් ලෙසය. කාන්තාව සමග රථයේ සිටි අනෙක් පුද්ගලයා අග‍්‍රවිනිශ්චයකාරවරයා බව හෙළිදරව් වීමත් සමග සෝදිසියට සම්බන්ධ වූ තලංගම පොලිසියේ පොලිස් නිලධාරීන්ට තරු පෙනෙන්නට ඇති බවට සැකයක් නැත. ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගෙන් සිය සාක්කු සටහන් පොත්වලට ඔවුන් අත්සන් ලබාගන්නට ඇත්තේ ඔවුන්ගේ ආරක්ෂාව සඳහාය. ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දෛනික තොරතුරු පොතේ ඒ ගැන සටහන් තබන්නට ඇත්තේද ඔහුට තලංගම පොලිස් නිලධාරීන්ගේ සාක්කු සටහන් පොත්වල අත්සන් තබන්නට සිදුවීම නිසා විය හැකිය. සිද්ධිය පහසුවෙන් වසන් කළ නොහැකි දෙයක් බවට පත්වන්නේද මෙම සටහන් නිසාය. සිද්ධිය දුරදිග යන දෙයක් බවට පත්වන්නේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දෛනික පොතේ තබන ලද සටහන පසුදින උදේ පොලිස් අණදෙන තොරතුරු කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයා (ධර්මසිරි කරුණාරත්න) විසින් කියවා එය රටේ අගවිනිසුරුවරයාට සම්බන්ධ සිද්ධියක් වීම හේතු කොටගෙන ඒ බව එම ආයතනයේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් කළුආරච්චි වෙත දැනුම්දීමෙන් පසුව එම සිද්ධිය පිළිබඳව ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගෙන් කටඋත්තරයක් ලබාගන්නා ලෙස සහකාර පොලිස් අධිකාරි ධර්මසිරි කරුණාරත්න වෙත දැනුම්දීම නිසාය.

මෙම සහකාර පොලිස් අධිකාරිවරයා දැන් ඉන්නේ පොලිස් සේවයෙන් විශ‍්‍රාම ගෙන විශ‍්‍රාම සුවයෙනි. මම ඔහු කීපවරක්ම හමුවී තිබේ. කටඋත්තරයෙන් හෙළිවූ තොරතුරු ඔහු නොසඟවා මට කියා තිබේ. පොලිස් පරීක්ෂකවරයා සහකාර පොලිස් අධිකාරිවරයාට කියූ තොරතුරු අනුව අගවිනිසුරුවරයාගේ උඩ ඇඳුම් තිබී ඇතත් යට ඇඳුම් තිබී නැත. කාන්තාව ඉඳ ඇත්තේද ඊට සමාන තත්ත්වයකිනි. කතාවට සම්බන්ධ පුද්ගලයා අගවිනිසුරු වීම නිසා ඔහුට අගෞරවයක් ඇති නොවන ආකාරයට ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කියූ සමහර දේවල් ඉවත් කොට කටඋත්තරය සකස් කරන්නට සිදුවූ බවද ඔහු කියා සිටියේය.

ලබාගත් කටඋත්තරය සහකාර පොලිස් අධිකාරිවරයා විසින් සිය ප‍්‍රධානියාට (ලක්ෂ්මන් කළුආරච්චි) ඉදිරිපත් කරන ලදුව ඔහු එහි පිටපත් නියෝජ්‍ය පොලිස්පති මහින්ද බාලසූරියට ලබා දුන්නේය. නියෝජ්‍ය පොලිස්පති එහි පිටපත් පොලිස්පති වෙත යවන ලදුව පොලිස්පතිවරයා ඒ පිළිබඳ වාර්තාවක් ජනාධිපතිනිය වෙත යවන ලදි.

ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ දෛනික තොරතුරු පොතට ඇතුළත් සටහනේ මෙම සිද්ධියට සම්බන්ධ පිරිමියා කව්දැ’යි හෙළිදරව් කොට තිබුණද ඊට සම්බන්ධ කාන්තාව හෙළිදරව් කර තිබුණේ නැත. පාවිච්චි කළ වාහනය ඇගේ වාහනය විය යුතු නිසා එම වාහනයේ අංකය ආශ‍්‍රයෙන් ඇය සොයාගැනීමට උත්සාහ කළද ඒ අංකය යටතේ ලියාපදිංචි කොට තිබුණේ මෝටර් සයිකලයකි. එම සටහනේ එන ලිපිනය ඔස්සේ එම ප‍්‍රහේළිකාව විසඳා ගැනීමට උත්සාහ කළද එයද සාර්ථක නොවීය. එහි ලිපිනය වශයෙන් සටහන් වී තිබුණේ අංක 15/07, හයිලෙවල් පාර, කිරුළපන, කොළඹ 06 වශයෙනි. එවැනි අංකයකට එම පාරේ නිවසක් නොතිබුණි. එහෙත් වැඩිදුරටත් සටහන පරීක්ෂා කිරීමේදී ලිපිනයේ එන අංකයට ඇළ ඉර යොදා තිබෙන්නේ වැරදි තැනකට බව තේරුම් ගත හැකිවිය. 15/07 යනුවෙන් අංකයක් තිබිය නොහැකිය. එය 150/7 විය යුතු බව තේරුම්ගත් විට අදාළ නිවස සේ ම වාහනයේ ඔහු සමග සිටි කාන්තාව කව්ද යන්නද පහසුවෙන් සොයාගත හැකිවිය. ඇගේ පසුබිම් විස්තර ගැන මේ අවස්ථාවේදී කිසිවක් කතා නොකරන්නේ ඉන් තවදුරටත් ඇයට විය හැකි අවමානය සලකාය.

සරත් නන්ද සිල්වා මව්බිමට කියා ඇති පරිදි මා කිසිදාක ඔහු දියවන්නා ඔය අසල කාන්තාවක සමග නිර්වස්ත‍්‍රව සිටි බව කියා නැත. මා කියා ඇත්තේ ඔහු එහි නවතා තිබූ මෝටර් රථයක කාන්තාවක සමග අඩනිර්වස්ත‍්‍රව සිටි අවස්ථාවකදී පොලිස් සෝදිසියට ලක්වූ බව පමණය. එහිදී නිර්වස්ත‍්‍රව තිබුණේ ඔහුගේ උඩුකය නොව යටිකයය. ඔහුගේ උඩුකය ටයි පටියක් පැළඳි කමිසයකින් යුතුවූ අතර යටිකය තිබුණේ කලිසම රහිතවය.

මේ සිද්ධිය නිසා මිරිහාන පොලිස් තොරතුරු අණදෙන කොට්ඨාසයේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ (වීරසේන විතානගේ) උසස්වීම් අත්හිටුවන ලද අතර ඊට එරෙහිව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය. අද දක්වා ඒ මූලික අයිතිවාසිකම් පෙත්සමට සිදුවූ දෙයක් නැත. මේ වෙනුවෙන් එම පොලිස් නිලධාරියාට ගෙවන්නට සිදුවී තිබෙන වන්දිය දැවැන්තය. ඒ නිසා අද දක්වා ඔහු සිටින්නේ උසස්වීම් අහිමි කළ තත්ත්වයකය.

නිරීක්ෂණය

මෙම අවලස්සන සිද්ධිය ආශ‍්‍රයෙන් රටේ ආණ්ඩුක‍්‍රමය කුණුවී තිබෙන තරමද තේරුම් ගත හැකිය. රටේ ජනාධිපතිනිය මෙම සිද්ධිය ගැන හොඳින් දැන සිටියාය. එහෙත් ඇයට සිය අගවිනිසුරුවරයාගේ නීච හැසිරීම ඔහු එම තනතුරෙන් පහකිරීමට තරම් බරපතළ හේතුවක් ලෙස නොපෙනුණේය. සිද්ධිය ජනාධිපතිනියට වාර්තා කිරීම සඳහා ජනාධිපතිනියගේ කාර්ය මණ්ඩලයේ ප‍්‍රධානියාට වාර්තා කළ පළමු පුද්ගලයා විමල් වීරවංශය. සිද්ධිය ජනතා විමුක්ති පෙරමුණද දැන සිටි බව ඉන් පෙනීයයි. මෙම සිද්ධිය සොයා බැලීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ තිස්ස අත්තනායක පාර්ලිමේන්තුවට යෝජනා කළේය. එහිදී මේ සිද්ධිය සොයා බැලීමේ වැදගත්කම ගැන ඉතා බලවත් ආකාරයකට කරුණු ඉදිරිපත් කළේ ජාතික හෙළ උරුමය පක්ෂයේ මන්ත‍්‍රී හිමිනමකි. එහෙත් ටික දිනකින් ඒ හිමිනමද තමන් කරන ලද කතාව ඉල්ලා අස්කර ගත්තේය. එම පක්ෂයේ හඬ පාලනය කිරීමේ බලයක් ඒ වනවිටත් අගවිනිසුරුවරයා හිමිකරගෙන සිටි බව ඉන් පෙනීයයි. පාර්ලිමේන්තුවේ සියලූ පක්ෂ බොහෝ දේ දැන සිටියේය. කාන්තාව වැඩ කළේ පාර්ලිමේන්තුවේය. ඇගේ භූමිකාව කතානායක දැන සිටියේය. පාර්ලිමේන්තුවටද එය විනෝදය පිණිස වන කරුණක් වූවා මිස බැ?රුම් ලෙස සොයා බලා නිවැරදි කරගතයුතු බරපතළ වරදක් ලෙස නොසැලකිණි. තමන්ගේ නායකයාගේ අවලස්සන භූමිකාව ශ්‍රේෂ්ඨාධිකරණයටද ප‍්‍රශ්නයක් වූ බවක් පෙනෙන්නට නැත. නීතිඥ සංගමයටද එය ප‍්‍රශ්නයක් නොවීය. රටේ දේශපාලන ක‍්‍රමයේ මුදුන් තැන්වල සිටින පුද්ගලයන් කුණුවී තිබෙන පරිමාව හා සමස්ත දේශපාලන ආයතන ක‍්‍රමය කුණුවී තිබෙන තරම ඉන් හොඳින් පෙන්නුම් කරන්නේයැ’යි කිව හැකිය.




2013/12/29 Nissanka Rajapaksa <nraja...@gmail.com>

Nissanka Rajapaksa

unread,
Jan 10, 2014, 9:14:03 PM1/10/14
to ind...@googlegroups.com
වික්ටර් අයිවන් [Sunday, January 12, 2014]

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සභාපති ජගත් බාලපටබැඳි මහතාට එරෙහිව එල්ල වී තිබෙන අල්ලස් චෝදනාව ඉතාමත් බරපතළය. එය රටේ දේශපාලන ක‍්‍රමය කුණුවී තිබෙන තරම පොදුවේත් දේශපාලන ක‍්‍රමයේ වැදගත්ම අංශ කුණුවී තිබෙන තරම විශේෂ වශයෙනුත් පෙන්නුම් කරන ප‍්‍රබල නිදර්ශනයක් ලෙස සැලකිය හැකිය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මහජනයා රැුවටීම සඳහා එනම් ශ‍්‍රී ලංකා රාජ්‍යයට අල්ලස් හෝ දූෂණය මර්දනයට විශේෂ උනන්දුවක් ඇති බව මහජනයාට පෙන්වීමට මහජන මුදලින් පවත්වාගෙන යන ව්‍යාජ ආයතනයක්ය යන්න මාගේ මතය වන අතර ඒ බව මම මීට පෙර විටින් විට ලියා තිබෙන ලිපි ගණනාවකින්ම පෙන්වා දී ඇත්තෙමි. මෙම ලිපියේ අරමුණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සභාපතිවරයාට එල්ල වී තිබෙන දූෂණ චෝදනා වඩා පුළුල් තලයක තබා විමර්ශනයට ලක්කිරීමය.

චෝදනාව සැකෙවින්

එම කොමිසමේ සභාපතිවරයාට එරෙහිව ඉදිරිපත්වී තිබෙන චෝදනාව සැකෙවින් මෙසේය. වාහන ආනයනය කරන ව්‍යාපාරිකයකු වූ සඳුන් හර්ෂ ප‍්‍රභාත් සිල්වා නමැති ව්‍යාපාරිකයා ටොයොටා කරිනා වර්ගයේ එකලස් කළ මෝටර් කාර් 145ක් එම්පරර් නමැති ව්‍යාජ නාමයෙන් ලංකාවට ආනයනය කළේය. ආනයනකරු මෙම ක‍්‍රියාවෙන් අපේක්ෂා කළ බව පෙනෙන්නේ රේගුවට ගෙවිය යුතු බද්දෙන් කිසියම් විශාල කොටසක් වංචා කොට ලාභ උපරිම කරගැනීමය. මෝටර් රථ ආනයනයේදී ශ‍්‍රී ලංකාවේදී අය කෙරෙන රේගු බද්ද අතිවිශාලය. ආනයනය කෙරෙන මෝටර් රථයක වෙළෙඳපොළ වටිනාකම මෙන් දෙතුන් ගුණයක් තරම් වන විශාල රේගු බද්දක් අය කෙරේ. රේගුවේ කනින් රිංගා යාහැකි නම් මෝටර් රථ ආනයනයේදී උපයාගත හැකි ලාභයද දැවැන්තය. මෙම නිශ්චිත ආනයනයේදී මෙම ව්‍යාපාරිකයා රේගුවට කරන්නට සැලසුම් කර තිබුණු වංචාව රේගුව අල්ලා ගත්තේය. ව්‍යාපාරිකයා ගෙන්වන ලද වාහන තොගය නිදහස් නොකොට රේගුව ඒ ගැන පරීක්ෂණයක් ආරම්භ කළේය. රේගුව ගනු ලැබූ එම තීරණයට එරෙහිව මෝටර් රථ 145ක් ආනයනය කළ එම ව්‍යාපාරිකයා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියේය. ව්‍යාපාරිකයාගේ අයිතිවාසිකම් පෙත්සම (SP1/LA No 84/2008) සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ව්‍යාජ නාමයකින් ආනයනය කරන ලද එම මෝටර් රථ 145 ටොයොටා කරීනා යන නාමයෙන් නොව එම්පරර් නාමයෙන් විකුණා ගැනීමට අවසර දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අපූරු තීන්දුව ප‍්‍රකාශ කර තිබුණේ 2008 ජූනි 02 වැනිදාය. වාහන තොගය නිදහස් කරගැනීමෙන් පසු ව්‍යාපාරිකයා එම වාහන විකුණා තිබෙනුයේ එම්පරර් නාමයෙන් නොව ටොයොටා නාමයෙනි. චෝදනා එල්ල වී තිබෙන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සභාපතිවරයාද මෙම නඩුව විභාග කළ විනිසුරු මණ්ඩලයට අයත් පුද්ගලයෙක් විය. ඒ මහතා 2013 වසරේ ජූනි අවසානය දක්වාම පාවිච්චි කර තිබෙනුයේ එසේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදහස් කරන ලද වාහන 145න් එකකි. (WP KG 9321) වාහනයේ හිමිකරු ලෙස ලියාපදිංචි කොට ඇත්තේ ජගත් බාලපටබැඳි මහතාගේ නම වුවත් ආදායම් බලපත‍්‍රය ලියාපදිංචි කොට ඇත්තේ සම්පත් මුදියන්සේලාගේ සුජීව නවෝද්‍ය වැලිකල නමිනි. එයද අසාමාන්‍ය දෙයක් ලෙස සැලකිය හැකිය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව

ව්‍යාජ නාමයකින් එකලස් කොට ආනයනය කරන ලද මෙම වාහන තොගය නිදහස් කිරීමට හේතුවන තීන්දුවක් දීම මගින් ශ්‍රේෂ්ඨාධිකරණය කර තිබෙන්නේ රේගු නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බව බැලූ බැල්මටම පෙනෙන්නට තිබෙන්නේය. ඒ අර්ථයෙන් එම තීන්දුව නීතිය නොසලකා වාහන ආනයනය කරන ව්‍යාපාරිකයකුට පක්ෂග‍්‍රාහීව දෙන ලද අනීතික තීන්දුවක් ලෙස සැලකිය හැකිය. එසේ අනීතික ආකාරයට දෙන ලද එම තීන්දුව මගින් නිදහස් කරන ලද වාහන තොගයට අයත් වාහන 145න් එකක් එම තීන්දුව දෙනු ලැබූ විනිශ්චය මණ්ඩලයට අයත් සාමාජිකයකු සන්තකව තිබීමෙන් එම තීන්දුව ලබාදීම සඳහා එම විනිශ්චයකරුවා එම ව්‍යාපාරිකයාගෙන් අල්ලසක් ලබාගෙන ඇති බවද බැලූ බැල්මට පෙනෙන්නේය. එවිට එළැඹිය හැකි නිගමනය වන්නේ සමහර විනිසුරුවරුන් අල්ලසට තීන්දු දෙන ක‍්‍රමයක් ශ්‍රේෂ්ඨාධිකරණයේද ක‍්‍රියාත්මක වන බවය.

මෙහිදී අවධානයට ලක්වී නැති වැදගත්ම කරුණක් වනුයේ ශ්‍රේෂ්ඨාධිකරණය දෙන තීන්දුවක් එක විනිසුරුවරයෙකුට පමණක් දිය නොහැකි බවය. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු දෙනුයේ අවම වශයෙන් තුන්දෙනකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් මගිනි. ජගත් බාලපටබැඳි මහතා එම තීන්දුව දුන් විනිශ්චය මණ්ඩලයේ එක් සාමාජිකයකු පමණය. විනිශ්චය මණ්ඩලයේ අනෙක් සාමාජිකයන් දෙදෙනාගේ හෝ අවම වශයෙන් ඉන් තවත් අයකුගේ එකඟත්වය නැතිව එවැනි තීන්දුවක් දිය නොහැකිය. මෙය ජගත් බාලපටබැඳි මහතාට පමණක් සීමා නොවූ විනිශ්චය මණ්ඩලයේ අනෙක් සාමාජිකයන් දෙදෙනාගේද අනුමැතිය ඇතිව දෙන ලද තීන්දුවකි. එවිට විනිශ්චය මණ්ඩලයේ අනෙක් සාමාජිකයන් දෙදෙනා කෙරෙහිද සාධාරණ සැකයක් ඇතිවන්නේය. මෙම තීන්දුව දෙන ලද විනිශ්චය මණ්ඩලයේ සෙසු සාමාජිකයන් වන්නේ එවකට අගවිනිසුරු ධුරය හෙබවූ සරත් නන්ද සිල්වා හා ජේ. සෝමවංශ යන විනිසුරුවරුන්ය. අගවිනිසුරු එම විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයකු වී නම් තීන්දුව දෙන ලද විනිශ්චය මණ්ඩලයේ ප‍්‍රධානියා ලෙස ක‍්‍රියා කොට තිබෙන්නේ ඔහුය. විනිශ්චය මණ්ඩලයේ ප‍්‍රධානියාගේ අනුමැතිය හා සහයෝගය නැතිව ජගත් බාලපටබැඳි මහතාගේ වුවමනාවට පමණක් එවැනි තීන්දුවක් දිය නොහැකිය. එවිට මේ ගැන කරන විමර්ශනයකදී අගවිනිසුරු පිළිබඳවද සාධාරණ සැකයක් ඇතිවන්නේය. මෙම වාහන ආනයනය කළ ව්‍යාපාරිකයා පදිංචි වී සිටින්නේ කටානේය. එය අගවිනිසුරුගේද ගමය. ඒ නිසා එය එවකට අගවිනිසුරු ධුරය හෙබවූ සරත් නන්ද සිල්වාගේද අනුග‍්‍රහය ඇතිව සමහරවිට ඔහුගේ පෙළඹවීම මත දෙන ලද අනීතික තීන්දුවක් ලෙස සැලකිය හැකිය. සමහරවිට සෙසු විනිසුරුවරුන් පොළඹවා ගන්නට ඇත්තේද සරත් නන්ද සිල්වාම විය හැකිය. ඔහුගේ පාලන කාලයේදී එවැනි දේවල් කිරීමට ඔහු බිය නොවීය. මෙම තීන්දුව වෙනුවෙන් ජගත් බාලපටබැඳි මහතාට පගාවක් ලැබුණේ නම් සෙස්සන්ටද පගාවක් ලැබෙන්නට ඇතැ’යි කියන සාධාරණ සැකයක් ඇතිවීම නොවැළැක්විය හැකිය.

එල්ල වී තිබෙන චෝදනාව නිල නොවන ආකාරයකින් විමර්ශනය කරන අය ජගත් බාලපටබැඳි මහතාගේ හා ව්‍යාපාරිකයාගේ විස්තරාත්මක දුරකතන බිල්පත් පරීක්ෂා කිරීම මගින් මෙම දෙදෙනා අතර එකිනෙකාට දුරකතනයෙන් කතා කරන තරමේ ළඟ සම්බන්ධයක් තිබී ඇති බවද සොයාගෙන තිබේ. එය බාලපටබැඳි මහතාට එල්ල වී තිබෙන චෝදනාව සනාථ කෙරෙන ප‍්‍රබල සාක්ෂියක් ලෙසද සැලකිය හැකිය. එහෙත් ඔවුන් අනෙක් විනිශ්චයකරුවන් දෙදෙනා හා ව්‍යාපාරිකයා අතර එවැනි ළඟ සම්බන්ධයක් තිබුණේද යන්න විස්තරාත්මක දුරකතන බිල්පත් ආශ‍්‍රයෙන් සොයා බලා නැත. අඩුම වශයෙන් මෙම නඩුව විභාග කෙරුණු කාලයේදී එවැනි සම්බන්ධයක් තිබුණේද යන්න සොයා බැලිය යුතුය. සිදුවී තිබෙන වරද පිළිබඳව පූර්ණ චිත‍්‍රයක් ඇති කරගත හැකිවනු ඇත්තේ එවිටය.

නීතිපති

මෙම අයථා ගනුදෙනුව ගැන සොයා බලන්නන් මෙම නඩුවේදී නීතිපති අනුගමනය කරන ලද ප‍්‍රතිපත්තිය කුමක්ද යන්න ගැනද විස්තරාත්මකව සොයා බැලිය යුතුය. මෙවැනි නඩුවකදී රේගුවේ අයිතිවාසිකම් ගැන පෙනී සිටිය යුත්තේ නීතිපතිය. රේගුව රජයට ආදායම් උපයා දෙන ප‍්‍රධාන මාර්ගයකි. ආනයන භාණ්ඩවලින් බදු අය කිරීම හා රේගු නීතිය උල්ලංඝනය කරන්නට පනවන දඩ මගින් ලැබෙන ආදායම් එකතු කිරීම රේගුව වෙත පැවරී තිබෙන ප‍්‍රධාන කාර්යභාරය ලෙස සැලකිය හැකිය. එසේ උපයන ආදායම් බැර වන්නේ රජයේ ආදායමටය. ඒ අර්ථයෙන් මෙම තීන්දුව රජයට ලැබිය යුතු විශාල බදු ආදායමක් අහිමි කිරීමට හේතුවූ තීන්දුවක් ලෙස සැලකිය හැකිය. එක වාහනයකට අය කෙරෙන බද්ද ලක්ෂ 50ක් ලෙස සැලකුවද අහිමි වූ බදු ආදායමේ වටිනාකම දශ ලක්ෂ 7250ක් ලෙස සැලකිය හැකිය. වංචාකරුට එරෙහිව දඩ පැනවීමෙන් ලැබෙන ආදායමද ඊට එකතුවිය යුතුය.

රජයට ලැබෙන මෙම ආදායම් ආරක්ෂා කරදීම නීතිපතිගේ වගකීමකි. ඒ සඳහා නීතිපති රේගුවේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නකු ලෙස ක‍්‍රියා කළ යුතුය. ඔහු මේ නඩුවේදී රේගුවේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නකු ලෙස ප‍්‍රබල ලෙස ක‍්‍රියා කළේද යන්න සොයා බැලිය යුතුය. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද තීන්දුව නීතියට පටහැනි තීන්දුවක් වී නම් එම තීන්දුව වෙනස් කරගැනීම සඳහා ප‍්‍රතිශෝධන අයදුම්පතක් ඔහු ඉදිරිපත් කළ යුතුව තිබුණි. එහෙත් මේ නඩුවේදී ඒ දේ ඔහු අතින් සිදුවී නැත. එවිට නීතිපති කෙරෙහිද සාධාරණ සැකයක් ඇතිවන්නේය.

මෙම දූෂිත දේශපාලන ක‍්‍රමය තුළ නීතිපතිට රඟපාන්නට සිදුවී තිබෙන භූමිකාවද ලස්සන නැත. රජයේ අයිතිවාසිකම් ආරක්ෂා කරන හා මහජනයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන රැකවල් දූතයා ලෙස ක‍්‍රියාකළයුත්තේ නීතිපතිවරයාය. එහෙත් මෙම දූෂිත දේශපාලන ක‍්‍රමය තුළ ඔහුගේ භූමිකාවේද මහා විකෘතියක් පවත්නා බව පැහැදිලිව දැකිය හැකිය. ඔහු රජයට ලබාදී තිබෙන සමහර මතයන් ඉතාමත් පසුගාමී හා ප‍්‍රතිගාමී ඒවා ලෙස සැලකිය හැකිය. විගණකාධිපතිවරයාගේ කාර්යභාරය හා බල පරාසය පිළිබඳව ලබාදී තිබෙන අර්ථකථන ඒ සඳහා දැක්විය හැකි එක නිදර්ශනයකි. මහා භාරකාරයා යටතේ තිබෙන පුද්ගල හාර පරීක්ෂා කිරීමේ බලයක් විගණකාධිපතිවරයාට නැති බවට ඔහු ලබාදී තිබෙන අර්ථකථනය ඊට දැක්විය හැකි එක් නිදසුනකි. මෙම අර්ථකථනය ප‍්‍රයෝජනයට ගෙන එක් මහා භාරකාරයකු ඔහු යටතේ තිබෙන පුද්ගල භාරවල ඇති වස්තුව උපරිම ලෙස ගසා කෑවේය. 

CBN සැට් නඩුව

සමහර බලවත් ව්‍යාපාරිකයන්ගේ නඩු හබවලදී එම ව්‍යාපාරිකයන්ගෙන් ලබාගත හැකි ආර්ථික ලාභ ප‍්‍රයෝජන සඳහා පක්ෂග‍්‍රාහීව නඩු තීන්දු ලබාදෙන ක‍්‍රමයක් සමහර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විසින් පවත්වාගෙන යන බව පෙන්නුම් කිරීම සඳහා දැක්විය හැකි හොඳ නිදර්ශනයක් මෙසේය. සැටලයිට් රූපවාහිනී නාලිකාවක් (CBN SAT) පවත්වාගෙන ගිය පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සැකයට හේතුවී 2006 ජූලි 6 වැනි දින ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත එම ආයතනයට සීල් තබන ලදි. ඔහුගේ චන්ද්‍රිකා පහසුකම් එල්ටීටීඊය ඔවුන්ගේ ප‍්‍රයෝජනය පිණිසද පාවිච්චි කරමින් තිබුණේය යන්න ඔහුට එරෙහිව එල්ල වී තිබුණු චෝදනාව විය. සැටලයිට් රූපවාහිනී ආයතනයක් පවත්වාගෙන යෑමට අවශ්‍ය එක් බලපත‍්‍රයක් ඔහු විදුලි සංදේශ නියාමක කොමිසමෙන් ලබාගෙන තිබුණද වැඩසටහන් විකාශය කිරීම සඳහා රූපවාහිනී සංස්ථාවෙන් ලබාගත යුතු බලපත‍්‍රයලබාගෙන නොතිබුණි.

මෙම සීල් තැබීමේ ක‍්‍රියාවට එරෙහිව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් (SCFR 236/2006) ඉදිරිපත් කළේය. එය විභාගයට ගනු ලැබුවේ අගවිනිසුරු සරත් නන්ද සිල්වා ප‍්‍රධාන විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේය.

එම සැටලයිට් රූපවාහිනී ආයතනය පිළිබඳව ආණ්ඩුවේ බුද්ධි සේවා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇති කරගෙන තිබූ සැකය නිසාත්, සැටලයිට් රූපවාහිනී ආයතනයක් පවත්වාගෙන යෑමට අවශ්‍ය පූර්ණ බලපත‍්‍රයක් නොතිබීම නිසාත් මෙම ව්‍යාපාරිකයාට සිය සැටලයිට් රූපවාහිනී ආයතනය වෙනත් ගැනුම්කරුවකුට විකුණා ගැනීමට අවශ්‍ය වූ අතර ඒ සඳහා ව්‍යාපාරිකයා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම පදනම් කොටගෙන අගවිනිසුරු සරත් නන්ද සිල්වා සමග පස්සා දොරෙන් ගනුදෙනු කරන තැනකට ගියේය. සුදුසු ගනුදෙනුකරුවකු සොයා ගැනීමේ අවසරය අධිකරණය විසින් ඔහු වෙත ලබාදෙන ලදි. ඩයලොග් සමාගම පෙත්සම්කරු සොයාගත් ගැනුම්කරුවා විය. එම සමාගමටද රූපවාහිනී නාලිකාවක් ආරම්භ කොට පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය බලපත‍්‍රයක් තිබුණි. එහෙත් එයද අසම්පූර්ණ බලපත‍්‍රයක් විය. සමාගම එම බලපත‍්‍රය ලබාගෙන තිබුණේ චන්ද්‍රිකා ජනපතිනියගේ පාලන කාලයේ අවසානයේදී විදුලි සංදේශ නියාමන කොමිසමේ ප‍්‍රධාන විධායකයා ලෙස ක‍්‍රියා කළ පුද්ගලයාගෙනි. ඔහු සිය තනතුර අත්හැර යන්නට පෙර තමන් වෙත බලපත‍්‍රයක් ලබාගෙන තිබුණු අතර ඔහු එම බලපත‍්‍රය ඩොලර් මිලියන 5ක් හෝ ඊට ආසන්න මිලකට ඩයලොග් සමාගමට විකුණා තිබුණි. මෙම පෙත්සම් කතාවේ ඉතිරි කොටසට යන්නට පෙර ශ‍්‍රී ලංකාවේ ගුවන්විදුලි රූපවාහිනී විකාශන බලපත‍්‍ර ලබාදෙන ක‍්‍රමය කෙටියෙන් හෝ සලකා බැලීම වැදගත්ය.

විකාශන බලපත‍්‍ර නිකුත් කිරීම

බොහොමයක් රටවල් ගුවන් විකාශන තරංග සලකනුයේ මහජනයාට අයත් ඉතාමත් වටිනා හා සීමිත සම්පතක් ලෙසය. ඒ නිසා ඒ සඳහා බලපත‍්‍ර නිකුක් කරනුයේද ඉහළම මිලක් ලබාගත හැකි තරගකාරී ක‍්‍රමයකටය. බලපත‍්‍රයක් ලබාගැනීම සඳහා ආයෝජනය කළයුතු මිල ඉතා විශාල වන අතර ඒ මගින් උපයන ආදායම් බැර වනුයේ රාජ්‍ය භාණ්ඩාගාරයටය.

එහෙත් අපේ රටේ විකාශන බලපත‍්‍ර නිකුත් කරනුයේ එවැනි ක‍්‍රමයකට නොව නාමික මිලකට ගජමිතුරන් සඳහාය. ඉන්පසු බලපත‍්‍රලාභී ගජමිතුරා තමන්ට නාමික මිලට ලැබුණු බලපත‍්‍රය දැවැන්ත මිලකට ගුවන්විදුලි හෝ රූපවාහිනී ආයතනයක් ආරම්භ කිරීමට උනන්දුවක් ඇති ව්‍යාපාරිකයකුට විකුණනු ලැබේ. ඩයලොග් සමාගම විසින් විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු ප‍්‍රධානියාට බලපත‍්‍රය ලබාගැනීම සඳහා ගෙවන ලද මිල රුපියල් වටිනාකම අනුව රුපියල් ලක්ෂ 5000ක් ලෙස සලකතොත් බලපත‍්‍රලාභී ගජමිතුරා බලපත‍්‍රය ලබාගැනීම සඳහා රජයට ගෙවන ලද නාමික මිල රුපියල් ලක්ෂයක් පමණ විය හැකිය. වෙනත් රටවල නම් ලක්ෂ 5000 යන්නේ රජයේ භාණ්ඩාගාරයටය. එහෙත් අපේ රටේ ක‍්‍රියාත්මක වන ක‍්‍රමය අනුව රාජ්‍ය භාණ්ඩාගාරයට යන්නේ ඉන් ලක්ෂයක් පමණය. ඉතිරිය යන්නේ ගජ මිතුරාගේ සාක්කුවටය. මේ රටේ ගුවන්විදුලි හා රූපවාහිනී විකාශන බලපත‍්‍ර ගජමිතුරන්ට නාමික මිලකට විකුණනවා වෙනුවට විවෘත වෙළෙඳපොළේ තරගකාරී මිලකට විකුණන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේ නම් ඒ ලැබෙන ආදායමෙන් පමණක් සමස්ත පාසල් අධ්‍යාපන ක‍්‍රමය නවීන කිරීමට වුවත් ඒ මුදල ප‍්‍රමාණවත් වන්නට ඉඩ තිබුණි. එහෙත් මෙම නිශ්චිත විෂයේදී අපේ රටේ තරවූයේ රජයේ භාණ්ඩාගාරය නොව ගජ මිතුරන්ගේ සාක්කුය. චන්ද්‍රිකා පාලන යුගයේදී ජනාධිපතිනියද තමන්ට අයිතිය ලැබෙන ආකාරයට බලපත‍්‍ර නිකුත් කරගෙන තිබුණු අතර ඇගේ සමීප ගජමිතුරෙකු වූ රොනී පිරීස් නමටද බලපත‍්‍ර ගණනාවක්ම නිකුත් කර තිබුණි. ඉන්පසු එළැඹෙන රාජපක්ෂ පාලන යුගයේදීද ඒ තත්ත්වයෙහි යහපත් වෙනසක් සිදු නොවීය. ජනාධිපතිගේ පුතාද අධිවරප‍්‍රසාදලාභී නාලිකාවකට හිමිකම් කියයි. තමන්ට ආධාර කළ විවිධ දේශපාලන සංවිධානවලටද නාමික මිලකට බලපත‍්‍ර ලබා දුන්නේය. මේ ආණ්ඩුවෙන් ගුවන්විදුලි බලපත‍්‍රයක් ලබාගත් හිමිනමක එම බලපත‍්‍රය විකිණීම සඳහා ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයකු සමග කරන ලද සාකච්ඡුාවක තොරතුරු මට අසන්නට ලැබුණි. හිමිනම ඉල්ලා සිටි මිල රුපියල් මිලියන 65කි. ව්‍යාපාරිකයා ඒ මිලට බලපත‍්‍රය මිලදී ගැනීමට කැමති විය. මෙම දූෂිත හා අවලස්සන දේශපාලන ක‍්‍රමයේ දැති රෝද කැරකෙන ආකාරය ඒ ආශ‍්‍රයෙන්ද යම් අදහසක් ඇති කරගත හැකිය.

බෞද්ධයා නාලිකාව

දැන් අපට සරත් නන්ද සිල්වා ඉදිරියේ ඇසුණු මූලික පෙත්සම් කතාවට නැවත ආ හැකිය. ඒ කාලයේදීත් සරත් නන්ද සිල්වාට ලොකු දේශපාලන උණක් වැළඳී තිබුණේයැ’යි කිව හැකිය. ඔහුගේ සමීප ආධාරකරුවකු ප‍්‍රකාශ කරන ලද ආකාරයට විශ‍්‍රාමයෑමෙන් පසු රටේ පාලකයා වීම ඔහුගේ ප‍්‍රධාන අභිලාෂය වී තිබුණි. ඒ සඳහා අවශ්‍ය වටාපිටාව සකස් කරගැනීම සඳහා ඔහු උපරිම මට්ටමකින් තමාට තිබුණු නිල බලය පාවිච්චි කළේය. තෝරාගත් දේශපාලන සංවිධාන ගණනාවකට එම සංවිධානවල කීර්තියට හේතුවන නඩු තීන්දු ලබාදීම මගින් එම සංවිධාන සතුටු කරන අතර එම අරමුණ වෙනුවෙන් එම සංවිධාන පාවිච්චි කළ හැකි තත්ත්වයක් ඇති කරගෙන තිබුණේය. බොහොමයක් ජනමාධ්‍ය ආයතනවලද ඒවායේ හිමිකරුවන්ගේ නඩුවලදී ඔවුන්ට වාසිදායක නඩු තීන්දු ලබාදීම මගින් ලංකාවේ ජනමාධ්‍යද අනියම් ලෙස පාලනය කළ හැකි තත්ත්වයක් ඔහු හිමිකරගෙන තිබුණද තමන්ගේම රූපවාහිනී ආයතනයක් ආරම්භ කොට පවත්වාගෙන යෑමේ මහත් ආශාවක් ඔහු තුළ තිබුණු බව කියනු ලැබේ. ඔහු එම ආශාව සම්පූර්ණ කරගැනීම සඳහා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ප‍්‍රයෝජනයට ගත්තේය. එහිදී පෙත්සම්කරු සමග සේ ම පෙත්සම්කරුගෙන් සැටලයිට් රූපවාහිනී නාලිකාව මිලදී ගැනීමට එකඟ වූ සමාගම සමගද ඒ සිහිනය සැබෑ කරගැනීම සඳහා වන එකඟතාවක් ඇති කරගත්තේය. ඒ අනුව පෙත්සම්කරු එය විකිණීමෙන් ලබාගන්නා මුදලින් කොටසක් යොදා ඔහුගේ ප‍්‍රයෝජනය පිණිස පුංචි රූපවාහිනී ආයතනයක් ඇතිකර දිය යුතුය. ගැනුම්කාර සමාගම ඔවුන්ගේ වියදමෙන් එම ආයතනය නඩත්තු කර දිය යුතුය. මෙම ගනුදෙනුව ඔහු සිදුකරන ලද්දේ ඊට බෞද්ධ සළුපිළි අන්දවා ආගමික පෙනුමක් ලැබෙන ආකාරයටය. ඔහු දේශපාලන කරළියට එන්නට උත්සාහ කළේද ආගමික හා ධාර්මික පෙනුමක් ආරෝපණය කරගනිමිනි. ඔහු සිය දේශපාලන මූලස්ථානය බවට පත්කරගෙන තිබුණේ කොළඹ බෞද්ධයන් අතර ජනප‍්‍රිය තත්ත්වයක් හිමිකරගෙන තිබූ සම්බෝධි විහාරයයි. එහි අධිපති හිමිනම එකල ඔහුගේ විශ්වාසවන්ත ආධාරකරුවෙක් විය.

CBN සැටලයිට් රූපවාහිනී නාලිකාව එහි හිමිකරුවා විසින් ඩයලොග් සමාගමට විකුණන ලද්දේ රුපියල් මිලියන 532.8කටය. විකුණුම්කාර ව්‍යාපාරිකයා තමන්ට ලැබුණු ඒ මුදලින් රුපියල් මිලියන 65ක් යොදා ‘බෞද්ධයා නාලිකාව’ නමින් නාලිකාවක් සරත් නන්ද සිල්වාට ඇති කර දුන්නේය. ඩයලොග් සමාගම එම නාලිකාව නොමිලේ නඩත්තු කිරීමේ වගකීම තමන් වෙත පවරා ගත්තේය. අගවිනිසුරු සරත් නන්ද සිල්වාද එම නාලිකාව වෙනුවෙන් ඇති කරන ලද සමාගමේ අධ්‍යක්ෂවරයෙක් විය. සමාගම් රෙජිස්ට‍්‍රාර්වරයා වෙත 2007 මාර්තු 5 වැනිදා යවන ලද අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් පිළිබඳ විස්තර ඇතුළත් පෝරමයේ සරත් සිල්වා අත්සන් තබා ඇත්තේ අගවිනිසුරුවරයා වශයෙන් නොව සමාජ සේවකයකු (Social Worker) වශයෙනි. 

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ආශ‍්‍රයෙන් සිදුවී ඇති මෙම අවලස්සන ගනුදෙනුව සැලකිය යුත්තේ තමන් ඉදිරියේ ඇසෙන නඩුවකදී එම නඩුව විභාග කළ ප‍්‍රධාන විනිසුරුවරයා පෙත්සම්කරුට ලබාදෙන ලද සහන වෙනුවෙන් පෙත්සම්කරුගෙන් ලබාගත් පගාවක් වශයෙන් මිස අන් කවර ආකාරයකටද?

නිරීක්ෂණය

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සභාපතිවරයාට එල්ල වී තිබෙන චෝදනාව හුදෙක් එම කොමිසමට පමණක් එල්ලවී තිබෙන චෝදනාවක් ලෙස සැලකිය නොහැකිය. ඊට අතිරේකව එය සමස්ත අධිකරණ ක‍්‍රමයට හා දේශපාලන ක‍්‍රමයට එරෙහිව එල්ල වී තිබෙන දෝෂාභියෝගයක් ලෙස සැලකිය හැකිය.

වැදගත්ම දේ මෙම ආරාවුල ඉදිරියේ බලධාරීන් ක‍්‍රියාකරන්නට යන්නේ කෙසේද යන්නයි. තම සභාපතිවරයාට එරෙහිව ලැබුණු පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම ක‍්‍රියාකරන්නට යන්නේ කෙසේද? කිසිදු පරීක්ෂණයකින් තොරව ඉදිරියට යනවාද? නැතිනම් සභාපතිවරයාට එරෙහිව කොමිසම පරීක්ෂණයක් ආරම්භ කරනවාද? මෙම ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තුව අනුගමනය කරන්නට යන්නේ කුමන පිළිවෙතක්ද? මෙම විනිසුරුවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති කර තිබෙන අපකීර්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ක‍්‍රියාකරන්නට යන්නේ කෙසේද? රටේ ජනමාධ්‍ය මෙම ප‍්‍රශ්නය සම්බන්ධයෙන් අනුගමනය කරන්නට යන ක‍්‍රියාපිළිවෙත කුමක්ද?



2014/1/5 Nissanka Rajapaksa <nraja...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages