
අපිට කොහෙ හරි වැරදුනා බං - [රෝහණ පොතුලියැද්ද]
"ආයෙමත් දවසක අපි සෙට් වෙමු" කියා නැගිට්ටට
"ඕකේ මචං, මමත් කියන්නං දවසක්" කිව්වට
උඹත් කිව්වෙ නෑ දවසක් මට ඔහේ එන්නට
මටත් තිබුනෙ නෑ දවසක් උඹට එන්න කියන්නට
එදා සිට පාළොස් වසක් ඇදං ගියා අපි ජීවිතය
අපේ පයටමයි පෑගූනේ ඒ සාද කතා හැන්දෑව
එල එලා දුන්නට දිග් දිගට හතර අතටම අධිවේග
උඹ තියා මට මාවවත් හමුවුනේ නෑ මගෙ මිතුර
රස්සාව කෙරුවා ඕටීත් කෙරුවා තව බ්‍රෝකර් වැඩත්
ගෙයක් හැදුවා තාප්පෙ බැන්දා ගත්ත කිරි කිරි මරුතියක්
පොඩ්ඩො ඉස්කෝලෙ දැම්මා පංති ඇරියා ශිෂ්‍යත්තෙනං සමත්
පස්ස හැරිලා බලනකොට කෙස්ස සුදුයි අඩමානෙන් ඇහැත්
කැකුළු මල් කපන සේ කපන ණය වාරිකේ දුක කියන්නට
පංතියේ බොට්නි ටීචගෙ පස්ස ගැන කුණු හබ්බ අහන්නට
මහ ගෙදර තනියෙන්ම මළ තාත්තා ගැන කියා අඬන්නට
ආත්මයේ ශ්‍රැතිය සුසර වෙනකොට ජෝතිගේ ගීයක් ගයන්නට
උඹත් කිවුවෙ නෑ දවසක් මට ඔහේ එන්නට
මටත් තිබුනෙ නෑ දවසක් උඹට එන්න කියන්නට
*******************
බොසාට කුද ගහන්න කියලා බලෙන් නිමාඩුවකුත් අරන්
නෝනටත් සත්තමක් දාලා අන්තිම දෙදහත් අරන් අල්මාරියෙන්
මරුතියට ෆුල් ටෑන්ක් ගහලා කුකුලත් අතකින් අරන්
ඔන්න මම ආවා, මොටද බං අද දවසෙත් නැති යාළුකං
මූණත් කලු ගැහී ඔය හැටි කේඬෑරි වී අත පයත්
මට වගේමයි උඹටත් හුඟක් මහන්සියි නේද දැන්
ඔහොම නිදියං ඉන්න එපා නැගිටපං අනේ නැගිටපං
බදාගෙන අඬමු අපි අපිට කොහෙහරි වැරදුනා බං
රෝහණ පොතුලියැද්ද


--
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
Visit this group at http://groups.google.com/group/indraka.
For more options, visit https://groups.google.com/groups/opt_out.