Fwd: [BOONDI " L i v e "] BOONDI.LK [ Kavi | කවි බූන්දි | අපිට කොහෙ හරි වැරදුනා බං - [රෝහණ පොතුලියැද්ද] ]

1,090 views
Skip to first unread message

Niccolo B Mac

unread,
Feb 26, 2014, 3:33:07 AM2/26/14
to ind...@googlegroups.com






 අපිට කොහෙ හරි වැරදුනා බං - [රෝහණ පොතුලියැද්ද]


"ආයෙමත් දවසක අපි සෙට් වෙමු" කියා නැගිට්ටට
"ඕකේ මචං, මමත් කියන්නං දවසක්" කිව්වට
උඹත් කිව්වෙ නෑ දවසක් මට ඔහේ එන්නට
මටත් තිබුනෙ නෑ දවසක් උඹට එන්න කියන්නට

එදා සිට පාළොස් වසක් ඇදං ගියා අපි ජීවිතය
අපේ පයටමයි පෑගූනේ ඒ සාද කතා හැන්දෑව
එල එලා දුන්නට දිග් දිගට හතර අතටම අධිවේග
උඹ තියා මට මාවවත් හමුවුනේ නෑ මගෙ මිතුර

රස්සාව කෙරුවා ­ ඕටීත් කෙරුවා ­තව බ්‍රෝකර් වැඩත්
ගෙයක් හැදුවා තාප්පෙ බැන්දා ­ ගත්ත කිරි කිරි මරුතියක්
පොඩ්ඩො ඉස්කෝලෙ දැම්මා ­ පංති ඇරියා ­ ශිෂ්‍යත්තෙනං සමත්
පස්ස හැරිලා බලනකොට කෙස්ස සුදුයි අඩමානෙන් ඇහැත්

කැකුළු මල් කපන සේ කපන ණය වාරිකේ දුක කියන්නට
පංතියේ බොට්නි ටීචගෙ පස්ස ගැන කුණු හබ්බ අහන්නට
මහ ගෙදර තනියෙන්ම මළ තාත්තා ගැන කියා අඬන්නට
ආත්මයේ ශ්‍රැතිය සුසර වෙනකොට ජෝතිගේ ගීයක් ගයන්නට

උඹත් කිවුවෙ නෑ දවසක් මට ඔහේ එන්නට
මටත් තිබුනෙ නෑ දවසක් උඹට එන්න කියන්නට

*******************

බොසාට කුද ගහන්න කියලා බලෙන් නිමාඩුවකුත් අරන්
නෝනටත් සත්තමක් දාලා අන්තිම දෙදහත් අරන් අල්මාරියෙන්
මරුතියට ෆුල් ටෑන්ක් ගහලා කුකුලත් අතකින් අරන්
ඔන්න මම ආවා, මොටද බං අද දවසෙත් නැති යාළුකං

මූණත් කලු ගැහී ඔය හැටි කේඬෑරි වී අත පයත්
මට වගේමයි උඹටත් හුඟක් මහන්සියි නේද දැන්
ඔහොම නිදියං ඉන්න එපා නැගිටපං අනේ නැගිටපං
බදාගෙන අඬමු අපි අපිට කොහෙහරි වැරදුනා බං

රෝහණ පොතුලියැද්ද


Nissanka Rajapaksa

unread,
Feb 26, 2014, 8:01:51 PM2/26/14
to ind...@googlegroups.com
බූන්දි, බදාදා, අගෝස්තු 17, 2011 10:25:50
ලංකාවෙ පහුගිය අවුරුදු තුන හතර ඇතුළෙ වැඩියෙන්ම පරිහානියට පත්වුණේ කුමක්ද කියල යමෙකුගෙන් ප්‍රශ්න කළොත් ඔහු දුම්රිය සේවය, සෞඛ්‍යය සේවය, පොලීසිය, වරාය, ජනමාධ්‍ය...... හෝ මොන අටමගලයක් හෝ පවසනු ඇත. නමුත් ඒ එසේ වුවද පහුගිය අවුරුදු තුන හතර ඇතුළත ලංකාවෙ අතිශයින් ම වළපල්ලට ගියේ අපේ රටේ කලාකරුවොයි. ඔවුහු රොතුපිටින් පේන්ට් බාස්ලා, ඩෝබිලා, නැට්ටුවෝ සහ වන්දිභට්ටයෝ වූ හ. ඉඳින් රෝහණ ඔවුන්ට මෙසේ නොකියා කුමක් කියන්නද... ? 

රජු කියන කාරියා
කරන අතවැසි දාසයා
සාලෙ මැද මම සූරයා
මම යි ලක'ඹර එකම සූරියා
.................. 

බත හරිම ජාතිය
පාන් රොඩු නං විජාතිය
දමමි මම ජාතිය
බතම ගිලපං ජාතිය
.................. 

කොහොම හරි බතක් උයන්නං
අද රෑටත් මඬල බලන්නම්
කියන පැත්තට අපිත් හැරෙන්නං
කෙළත් ඕනං ඒකත් දෙන්නං.... 

(බත් පණ්ඩිත) 


මේ වියමන රෝහණ ගේ කවි පිළිබඳව ක්ෂණික හැරී බැලීමක් මිස සායනික විචාර සිද්ධාන්ත මත පිහිටා ලියන ලද්දක් නොවේ ය. මොහු ගේ 'එහෙම වෙන්න ඇති' කවිය තුළින් නැවත ත් ප්‍රකම්පනය වුණු මසිත, රෝහණ‍ ගේ කවියේ අධිකමය ජවය ට සහ උස්සා පොළොවෙ ගහන ප්‍රවේගයට ආශක්ත වෙයි. 

ලාංකීය සමාජයේ විද්‍යුත් ජනමාධ්‍යය පිළිලය රෝහණ නියමාකාරයෙන් වමනය කරයි. ඒ වමන තරලය විචාරක්ෂි යෂ්ටියකින් පාදා බැලුවහොත් ඒ මත කොන්ඩම්, ගැහැනු යට ඇඳුම්, පිළුණූ වූ ශුක්‍ර බින්දු හා මෙකී නොකී බොහෝ දෑ පාදා ගත හැකි ය. රෝහණ ස්වකීය ආනන්දය තකා කවි ලියන්නෙක් නොවේ ය. ආනන්දයෙන් පඥාව ද නොසොය යි. එහෙම යමක් නැති බව ඔහු අත්‍යන්තයෙන් ම දනියි. ඔහු ට අවශ්‍ය රසිකයාට, කියවන්නාට බිම දාගෙන පහර දීම යි. ඔහු ගේ කවිය තුළ දී ඔහු‍ අතට අහුවෙන අහුවෙන දෙයින් පහර දෙයි. රෝහණ ගේ කවියෙන් ව්‍යුත්පන්න දේශපාලනික මොහොත එය යි. රෝහණ අනෙක් කවියන් ට වඩා සුවිශේෂී වන කාරණාව ද එය යි. ඔහු සතු ගරිල්ලාමය කවිකම සහෘදයා ගේ අධෝමාර්ගය තුළට අතදමා කොට්ටඋරයක් අනෙක් පස හරවන්නාක් මෙන් රමණීය සුවයකින් පසු අතිශය මරණීය තුවාලයක් ඇති කරයි. රෝහණ පිළිපන් කාව්‍ය මාර්ගය එය යි. 

මේ මුළු සමාජෙම කටු පිරි කැලෑවකි
ඒ මැදින් යනෙන ගත සිත තුවාලෙකි
කැක්කුම් වේදනා නසනා ඔසු ගුලාවෙකි
දිගු ටෙලියේ නුඹත් සදහම් අමාවකි
.......................... 

කිඳුරු කැලේ සිට පෙරුමන් පුරා පුරා
මහසත් වෙත හිත පිදුවලු යසෝදරා
කෙල්ලෙක් හිඳී මේකෙත් හොටු කඳුළු පෙරා
පින්වත බලනු මැන නූතන යසෝදරා
......................... 

පෙන්නා ළමැද පද්දා ඉඟටිය පැත්ත
යන එන එකීලත් ඉන්නා බව ඇත්ත
වටහාගත යුතුයි හිතලා මේ පැත්ත
බුදු හිමිටත් හිටියා මරඟන හැත්ත

පෙර කළ පිනකි ලක් දෙරණේ ඉපදීම
තව මහ පිනකි දිගු ටෙලියක් නැරඹීම
පා මෙත් සිත අපට, සුරිඳුනි කතරගම
ලක්වැසියන්ට දුන මැන ඔය ඇස් දුසිම

(සදහම් ගඟ හෙවත් මෙගා ටෙලි වරුණ) 


රෝහණ ගෙ අහස හැඩි වී ඇත. ඔහු ඒ හැඩි වීමට ආශා කරයි. ඒ හැඩි වීම තුළ ඔහු අලංකාරය, රමණීයත්වය දකියි. පිළිවෙල තුළ නොවන හැඩිවීම තුළ ඇති, තිබිය හැකි සත්තාවේ දාර්ශනික යථාර්ථය ඔහු විනිවිදියි. නූල ට අඟල ට රූල ට ධාවනය වන ජීවිතවල ඇති නිස්සාරත්වයට වඩා නිරන්තරව උච්ඡාවචනය වෙමින් කාලගුණික විපර්යාසවලට නතුවන භෞමික ශරීරවල උණ හෙම්බිරිස්සාවට රෝහණ ආශා කරයි. ස්ථාවරත්වයට වඩා ජීවිතයේ චලනයට ආශා කරන මොහු දයෙලෙක්තිකය දකිනුයේ එතැනිනි. "ඉදිරිය අපැහැදිලි කඳුකර මාවතක සුන්දරම දේ හමුවණු බැරිද....?"

ඉරක් ගසා හරි කෙලින් නූලට
පැද යා යුතු ද ඒ මතින් ජීවිතය
ඉදිරිය අපැහැදිලි කඳුකර මාවතක
සුන්දරම දේ හමුවණු බැරිද

තරු ඇවිත් හැඩිකෙරුවෙ නැත්නම්
රෑ අහස සුන්දරද මේ තරම්
ඒ රැය කළ ද‍ඟේ සුව මතකයන්
අවුල් වූ සිරියහන් මත බලන්
........................ 

කුසලානයක් නොවේ ජීවිතය
දිනුම් කණුව පසු කළ විට ලබන
මේ දැන් මෙතන ඇති මීවිතකි
ඔබට මට රස විදිත හැකි

(අහස හැඩි වී ඇත) 


සමස්තය කුසලාන ලෝබයෙන් පා ලොවන කල් හි රෝහණට ඇත්තේ ඊට හාත් පසින්ම වෙනස් වූ ආශාවකි. එනම් ජීවිතය ආදරයෙන් වැළඳගැනීමේ රුචියකි. හැමෝම දිනන්න පොරකන, කවි තරගවලට දමා නියපොතු හප හපා ඉන්න අපේ කවියන් අතර රෝහණට දිනුමක් වත් තරගයක් වත් නැත. ඔහුට ජීවිතය යනු කාටත් එක සේ රස විඳිත හැකි මී බඳුනකි. ලියන ලියන හැම අකුරකින් ම හැම කවියකින් ම හැම පත්තර පිටුවක් ම සරසන්න උත්සහ කරන අපේ කවියො දඟලන දැඟලිල්ල සම්මා සතියෙන් බලා සිටින අපට රෝහණ නම් පාත්තරය විසිකළ, නේරන්ජනාවට මෙපිටින් ස්වකීය වාස භූමිය තනා ගත්තෙකි. 

රතු ලේ සමග කිරිබත අනා කන
එකොන්ට ගල් ගසා පබා රජ ගෙට යවන
මධ්‍යම පන්තියෙ මධ්‍යම ප්‍රතිපදා මැද
පුදුමයි උඹත් ඉඳගෙන අරුමැසි අසපුවක
............................. 

සිදුහත් වුනත් ගියා ගොඩක් ගුරුවරු ලඟට
අහිතක් නෑ මිතුර ඔබත් තව දුර යන්න
නහුතයක් උතුරු සළු යට කුණු වූ හදවත් දැන ඇඳින
එන්න ආ පිට අපි ඉන්නවා නේරංජනාවෙන් මෙපිට

(දහම් සොඩ වූ - (එදා) සුරා සොඩ මිතුරාට) 


සැවොම තක්කඩි ව්‍රතය පාමින් සිටිද්දී ඔවුන් සමග සද්ධිවිහාරික වීම ද ඔහු ප්‍රතික්ෂේප කරයි. ඔහුගේ ඒ නිශ්ශබ්දතාවය ප්‍රශ්න කරන තක්කඩි කවීන් ට සහ අවංකවම එවන් ප්‍රශ්නයක් නැගූවන්ට ඔහු දෙන්නේ කදිම පිළිතුරකි. ඔහුට මේ පරිදි අනන්‍ය වීමට වඩා දිවිනසා ගැනීම යහපත් ය.

නිශ්ශබ්දතාවය (ජී. බී සේනානයකගෙන් උපුටා ගන්නා ලදී) 

නිමිත්ත:"ඔබේ කවි කෝ ?" (කාව්‍යක්කාර මිතුරෝ) 

ගන්දස්කාරෙන් මිරිකුණු මම
මුතු ඇටයේ
පාදඩ
තක්කඩි
කාලකණ්ණි
මුහුණ දෙස බලා
දිවි නසා ගතිමි.... 


රෝහණ ගේ කාව්‍ය භාවිතාව දෙස බලන කල්හි අපිට කාරණා දෙකක් මතුකර ගත හැක. 

1. ඔහු පාදඩ, ව්‍යාජ, තක්කඩි සමාජය වෙනුවට යහපත් නිරුපද්‍රිත හෙට දවසක් ඉල්ලා සිටියි. 
2. ඔහු විසින් ලියන අකුරු ජ්වලන උෂ්ණත්වය තෙක් රත්කර, ගිනිගැනීමට සුදුසු වාතාවරණයක් නිර්මාණය කරයි. 

පැහැදිලිවම දේශපාලනික අරමුණක් වෙනුවෙන් රෝහණගේ භාවිතාව අපිට හඳුනාගත හැක. ඒ ආරම්මණය සුපුෂ්පිත සමාජයකින් වහනය වන සැබෑ මිනිස් ගුණ සුවඳක් වෙනුවෙනි. 

'එහෙම වෙන්න ඇති' කාව්‍ය තුළින් මොහු ප්‍රක්ෂේපණය කරන යටි පෙළ අතිශය ගැඹුරු සිද්ධාන්තමය හරයකි. රේල් පීලි මත වාඩි වී සිටි යුවළක් දුම්රියට බිලි වීම යන සිද්ධිවාචකයෙන් ඔබ්බට ඔහු විසින් ගොඩ නගන කතිකාව ඉතා පුළුල් ය. "දී ඇති පීල්ලෙම හැමදාම දුවන රේල්ලුව හූ තියාගෙන එදත් දුව යන්න ඇති...." කවියා මින් හඟවන සත්‍ය කුමක්ද... ? පවතින ක්‍රමය විසින් තමන්ට හූ තියාගෙන තමන්වම විනාශය කරා රැගෙන යන ගමනයි. 'දී ඇති පීල්ලෙම' අර්ථපූර්ණ සංකේතාර්ථයකි. "දුටු දුටු දනා, ආලය අන්ධයි කියාගෙන ආපු පීල්ලෙම යන්න ඇති...." පීලි මාරු කර ගැනීමට නොහැකිව කවුරුත් එකම රේඛාවක ගමන් කරයි. එය මරණීය රේඛාව යි. එම පීල්ලයි මාරු කළ යුතුව ඇත්තේ. ආපු පීල්ලෙම ආපසු යන්න සිද්ධවෙන ‍ඛේදවාචකය ඔහු ඉඟි කරයි. සිදුවිය යුතු පද්ධතිමය වෙනස ඔහු කියා සිටින්නේ එලෙසිනි. නමුත් යුවළ අනියත ප්‍රේමයක පීලි මත අපිත් රේල් පීලි වාගෙයි කියා හෙමිහිට මුමුණන්න ඇති. ඇති හැකි වූවන්ගෙන් මල් උයන් පිරෙයි... ලාභ කාමරයක් ආරාධනා කළත් පීල්ල පනින්න නොහිතන ආලයේ පැවැත්ම මෙසේ තීරණය වෙයි. 

සුවහසක් මල් උයන්
වේලාසන පැමිණියවුන්ගෙන් පිරී තියෙන්න ඇති

ලාබ කාමරයක් එන්න කීවත්
පීලි නොපැනම මගහැර යන්න ඇති

හිරිකඩ පිඹින වෙරළ අද්දර
කෙට්ටු පපුවට අගුණ වෙන්න ඇති

නොලද්දෙන් අන් තැනක්
තබා සෙරෙප්පුව, පීල්ල මත ඉඳ ගන්න ඇති

ප්‍රේමයේ විසල් තුරු සිහිලැල්ල
දළු මල් ඵල පුබුදන්න ඇති

අනියත ප්‍රේමයක පීලි මත උනුන් තුරුළුව
අපිත් රේල් පීලි වාගෙයි කියා හෙමිහිට මුමුණන්න ඇති

දී ඇති පීල්ලෙම හැමදාම දුවන රේල්ලුව
හූ තියාගෙන එදත් දුව යන්න ඇති

දුටු දුටු දනා, ආලය අන්ධයි කියාගෙන
ආපු පීල්ලෙම යන්න ඇති

(එහෙම වෙන්න ඇති ...) 



රෝහණ ජාතික රූපවාහිනියේ නුග සෙවණ වැඩසටහනට උපහාරයක් ලෙස කවියක් ලියයි. එය ජාතියේ නුග රුක නම් වේ. මොහු ඒ නුගරුක උඩ ලැග ගෙන සිටින කාකයින්ගේ වසුරුවලින් දූෂණය වුණු මෙදියත පතළ අපලය මනා සේ හුවා දක්වයි. 

දියත පතළ විකුමන් ද
රජ මැති සෙන්පතියන් ද
ඇති තව මහ පඬි යන් ද

මුතු - ඇට - යේ
................... 

ඇඳගෙන හැඩ වැඩ සාරි
දිග කලිසං සල්වාරි
ගහ ගෙන ලොකු පම්පෝරි

මැද - සා - ලේ
................... 

ඇඟ උණු කරවා යාම
ඉඳ හිට බඩ කකියෑම
විසඳන දොස්තරු කදීම

වැඩ - ඉන් - නේ
.................. 

ලොට තන තිසරුන් වෙන්න
මේ ලෙස පිරි මැද ගන්න
මදි නං රට බොඩි ගන්න

විම - සන් - නේ

(ජාතියේ නුග රුක) 


රෝහණගේ කවියක් කියවීම මිනී මෝරෙක්ට හසු වීමක් බඳුය. කොතෙක් ගැලවීමට උත්සහ කළ ද ඔහු අතක් පයක් හෝ කඩා ගෙන යනු නියත ය! 


--
 
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
Visit this group at http://groups.google.com/group/indraka.
For more options, visit https://groups.google.com/groups/opt_out.

Reply all
Reply to author
Forward
0 new messages