කෙටි කතාවක්.... 4

67 views
Skip to first unread message

Nissanka Rajapaksa

unread,
Nov 2, 2023, 6:16:30 PM11/2/23
to INDRAKA group
1
ආදරයේ අල්මාරිය

- මංජුල සේනාරත්න 


විවාහයෙන් පසුව ගෙවී යන පළමු සතිය අවසානයේදී , අලුත් නවාතැනකට යන්නට අපි තීරණය කළෙමු. අපි දෙදෙනාම ඉහළ රැකියා කරමින් සාධාරණ වැටුප් ඉපැයූ නිසා නගරයේ 27 වැනි කොටසේ , නිස්කලංක පෙදෙසක , අලුතින් ඉදිවුණු ගොඩනැගිල්ලක , තුන්වැනි මහලේ වර්ග මීටර 80 ක මනරම් තට්ටු නිවාසයක පදිංචි වන්නට අපිට හැකියාව ලැබුණි. ඒ අපේ ජීවිතවල සුන්දරතම අවදිය යැයි දැන් මට සිතේ.

මේ අලුත් තට්ටු නිවාසයේ කිසිදු ගෘහ භාණ්ඩයක් තිබුණේ නැත. ඉතාම අවශ්‍ය දේ පමණක් මිලට ගෙන , කාලයාගේ අවෑමෙන් , හෙමින් සීරුවේ නිවස ලස්සන කර ගත යුතු බව අමලි , මගේ බිරිඳගේ අදහස විය. මසක් ගෙවී ගිය තැන , සති අන්තය ගත කරන්නට කිලෝ මීටර සියයක් පමණ දුරකට ගොස් ගිමන් නිවන්නට වාහනය ගාල් කළ මොහොතේ අපි ඉදිරියේ වූයේ විශාල ලී බඩු වෙළඳ සැලකි. "ආදරයේ අල්මාරිය" අපට හමු වූයේ එහිදීය.

එය වනාහි "පොප්ලියේ" ලීයෙන් සාදා ළා දුඹුරු පැහැයක් ගත් විශාල අල්මාරියකි. මීටර හතරක් පමණ දිගය. මීටර දෙකක් පමණ උසය. ඇතුළත තට්ටු බර ගණනකි. ලාච්චු අටකි. ඇඳුම් එල්ලා තබන්නට තවත් කොටසකි. සත්‍ය වශයෙන්ම එය වනාහි අල්මාරියක් නොව අල්මාරි රජෙකි.

"මොනවටද මේ තරම් ලොකු අල්මාරියක්..අපි දෙන්නා විතරයි නේ.." මම ඇසුවත් අමලි අනාගත සැලසුමක් සකස් කර තිබුණි . යට ඇඳුමේ , මේස් කුට්ටමේ සිට ශීත කබාය දක්වා වන අපි දෙන්නාගේ සියලුම ඇඳුම් පැලඳුම් පමණක් නොව , ඇඳ ඇතිරිලි , තුවා ,අත් පිස්නා මෙන්ම මේ මොහොතේ නොමැති , එහෙත් අපේ හදවත් වල දුව පැන නටනා දරුවන් ගේ ඇඳුම් පැලඳුම් පවා මේ අල්මාරි රාජනියගේ සෙවණට එක් කළ හැකි බව ඇය කීවාය.

මිලෙන් අධික ඒ අල්මාරිය සේවකයන් පස් දෙනෙක් විසින් රැගෙන විත් නිදන කාමරයේ දිගු බිත්තියට සමාන්තරව සවි කළ විට මට හැඟුණේ නාඳුනන යෝධයෙක් පැමිණ මාර්ගය වසා ගත්තාක් වැනි හැඟීමකි. අපේ නිදහස් යුග දිවියට ඇතුල් වුණු නැන්දම්මා කෙනෙක් වැනිය ඒ අල්මාරිය. අනෙක් අතට අල්මාරිය හරි මැද සවි වී තිබුණු විශාල කැඩපත තුළින් නිතර දකින අපි දෙන්නාගේ දසුනට මම ප්‍රිය නොකළෙමි. සවස් යාමයක කරන්නට දෙයක් නැති නිසාම සිදුවන ප්‍රේම ආලිංගනය මැදදී මගේම මුහුණ කැඩපත තුළින් දැකීම මා බියට පත් කරවන්නට සමත් විය.

අමලි තම දෛනික ජිවිතයෙන් සැලකිය යුතු කොටසක් අල්මාරිය වෙනුවෙන් කැප කළාය. එහි ඇඳුම් අසුරන ආකාරය , රීතිය , පිළිවෙළ බොහෝ සැලසුම් සහගතව සිතා බැලූ ඇය , ඒ රීති සම්ප්‍රදායන්ට එරෙහිව මා ක්‍රියා කරන අවස්ථාවලදී බැණ වැදුනාය. ඇගේ අදහස වූයේ යම් අයෙකුගේ ජිවිතයේ සැලසුම් සහගත බව ඇඳුම් අල්මාරිය දෙස බැලීමෙන් වටහා ගත හැකි බවයි.

"ආදරය , යුග දිවිය කියන්නේ ඇඳුම් අල්මාරියක් වගේ. හැම දේකටම නියමිත , සුදුසු තැනක් තියනවා. කිසිම දෙයක් නොසුදුසු තැන් වල තියන්න හොඳ නැහැ. සමහර දේවල් අතට අහුවෙන මායිමේ ගන්න පහසු විදිහට තියන්න ඕනා. අනවශ්‍ය දේවල් වලට වැඩි තැනක් දෙන්න හොඳ නැහැ. වැදගත්ම දේවල් වලින් විතරයි අල්මාරිය පුරවන්න ඕනා.." මේ ඇගේ වචනයි. ඇය ජීවිතය ආදරය දෙස බැලුවේ අල්මාරියේ ඇඳුම් අසුරන ආකාරයෙනි. අඩුම තරමින් සතියකට වරක් , සාමාන්‍ය පිරිසිදු කිරීමකට අල්මාරිය හසු කළ අමලි , මාසයකට වරක් සියල්ල පිටතට ගෙන , විශේෂ දියරයක් ආධාරයෙන් හැම තට්ටුවක්ම පිරිසිදු කර, පිසදා වේළා, යළි ඇසුරුවාය. එය වනාහි පැය තුන හතරක ක්‍රියාවලියකි.

මේ ආදර අල්මාරියේ දකුණු කොටසේ හොඳින් ඉඩ කඩ ඇති තට්ටු තුනක් හිස්ව තැබීම අමලි ගේ තීරණයයි . එම තට්ටු වෙන්කර තිබුණේ අපේ හිත් වල දඟකාරකම් කළ දරුවන් මෙලොවට පැමිණි පසු ඔවුන් වෙනුවෙන් මිලදී ගන්නා ඇඳුම් පැලඳුම් වෙනුවෙනි. හිතේ සටහන් වුණු , සිහින මැවූ සියල්ලක්ම අත්පත් කර ගනිද්දී මෙලොවට නොපැමිණියේ දරුවන් පමණි. සිත්වලම ලැඟුම් ගෙන සිටියා මිස අපේ මුහුණු බලන්නට කිසිදු ආශාවක් ඔවුන්ට නොතිබුණා විය හැකිය.

එය බොහෝ ශක්තිමත් අල්මාරියකි. මුළු ගොඩනැගිල්ලම පිපිරීමකට හසුවී පොළොවට සමතලා වුවත් අල්මාරියට කිසිදු හානියක් නොවන බව පැහැදිලිය . තම ජිවිතයේ වැදගත්ම අජීවි වස්තුව , අල්මාරියට නිසි ගෞරුවය ලබා නොදුන් සෑම අවස්ථාවකම බැණුම් අසන්නට මට සිදුවිය.

ජනෙල් රෙදි වලින් බේරී කාමරයට පැමිණි හිරු කිරණ ආධාරයෙන් අප දෙස බලා සිටි අල්මාරිය රාත්‍රී කාලයේ එලාම් ඔරලෝසුවේ සීතල නිල් පැහැ ආලෝකය තුළින් අප දෙස බලා සිටියේ මහා කන්දක් පරිද්දෙනි. ඒ කන්දේ රුදුරු සෙවනැල්ලෙන් අපේ ජිවිත වැසී යනු ඇතැයි වරෙක මට සිතුණි . ඒ කන්ද නාය යාමකට හසු වී අපව යට කර ගන්නා අයුරු මම හීනෙන් දුටුමි. හොල්මන් චිත්‍රපට වල දැක්වෙන , දහවල් කාලයේ නිදා සිට රාත්‍රී කාලයේදී අවදි වී ජීවිත ගිල ගන්නා අජීවී වස්තුවක් ලෙසින් අල්මාරිය මා බියටපත් කළේය .

"ඔයා මටද වැඩිය ආදරේ , අල්මාරියටද...?" දිනක් මම ඇසීමි.

"අල්මාරියට.". ඇය ගත් කටටම කීවාය. " ඔයාගේ ජිවිතේ මට නැති ඉඩක් මේ අල්මාරියේ තියනවා. එයා ඕන වෙලාවක මාව භාර ගන්න ලැහැස්ති වෙලා ඉන්නේ. එයා දෑත් විහිදාගෙන ඉන්නවා මම එනකං ..." ඇය එදා කී හරුපයේ තේරුම වටහා ගන්නට උත්සාහ නොකළෙමි .

සෑම සිකුරාදාවකම, ඉක්මනින් රැකියාව නිම කර දහවල් දෙකට පමණ නිවසට පැමිණීම අමලි ගේ සිරිතයි.

මෙවැනි එක් සිකුරාදාවක ඇයට කලින් නිවසට පැමිණ, අල්මාරියේ හිස් තට්ටු ඉවත් කර, එහි සැඟවී, එකවරම දොර විවර කරගෙන පිටත පැමිණ බිය ගන්වා "සර්ප්‍රයිස් " එකක් දීමේ අනුවන අදහසක් මට ඇතිවිය. එය බොහෝ සරල සැලැස්මකි. ඇය දුර සිට පැමිණෙනු කවුළුවෙන් දුටු මම අල්මාරිය ඇතුළේ සැඟව ගතිමි. නිවසට ගොඩ වී, පාවහන් ගලවා, නාන කාමරයට ගොස් දෑත් සෝදා ගෙන පැමිණ යහනේ දිගා වුණු අමලි ගේ වෙහෙසකාරී මුහුණ මට කුඩා යතුරු සිදුරින් පෙනේ.

අනතුරුව ඇය දුරකථනය අතට ගත්තාය. කතා කරන්නේ කා සමඟ දැයි වැටහීමක් මට තිබුණේ නැත. "මට මේ ජීවිතේ එපා වෙලා..වෙලාවකට මැරෙන්න හිතෙනවා.." ඇය කිවේ එපමණකි.

දුරකථනය අනෙක් කෙළවරේ සිටි තැනැත්තා හෝ තැනැත්තිය කියන දේ විනාඩියකට වැඩි කාලයක් අසා ගෙන සිටි මගේ බිරිඳ අනතුරුව කාමරයෙන් පිට වූවාය . නිවසේ දොර වැසෙන හඬ කියා පෑවේ ඇය නිවසින්ද පිට ගිය බවයි.

ඇයට ජීවිතය එපා වන්නට හේතු මොනවාදැයි මම ඇගෙන් නො ඇසුවෙමි. මා අල්මාරියේ සැඟවී සිටියා යැයි පැවසීමේ වුවමනාවක් ද මට නොවිණ . අල්මාරිය සැඟවී සිටින්නට සුදුසු තැනක් නොවේ. ඇයට එය පුදසුනකි. කුමක්දෝ හඳුනාගත නොහැකි හේතුවක් නිසා ඇය මට වඩා අල්මාරියට ආදරය කරන බව කීවාය . මේ අල්මාරිය අපේ ජීවිත වලට අවාසනාව රැගෙන පැමිණි වස් කවියක්ද..? මේ අල්මාරිය අපි දෙන්නා ගේ ජිවිත දෙකඩ කරන්නට සතුරෙකු විසින් මතුරා එවන ලද ලී ගොඩක්ද ..? මේ අල්මාරිය අපේ ජිවිත වල නීරස බව දැක සිනහ වෙනවා නොවේද..? මේ යෝධ අජීවී වස්තුවේ ගුප්ත සෙවණැල්ලෙන් ගැලවෙන්නේ කෙසේද..?

විවාහයෙන් පසුව ගතවී යන තෙවන වසරේ එක දිනක සවස් යාමයේ ඇය නිවසට පැමිණියේ නැත.

කීප වරක්ම ඇමතූ මුත් දුරකතනයට පිළිතුරු නොදෙන විට මම කළේ අල්මාරිය විවර කර බැලීමයි. ඇය මට නොකී රහස පැවසීමට තරම් අල්මාරිය නිහතමානී විය. අල්මාරියේ තට්ටු දෙකක් පුරා පිළිවෙළට අසුරා තිබූ ඇගේ ඇඳුම් , පැලඳුම් කිසිවක් පෙනෙන්නට තිබුණේ නැත. එල්ලා තිබූ කබා කීපයක්ද අතුරුදහන්ය.

තමා නිවසින් පිටවී ගොස් , මිතුරියකගේ නිවසේ තාවකාලිකව නවාතැන් ගන්නා බවත් , සොයන්නට වෙහෙස නොවන්නැයි කියා ලියූ කුඩා ලියුමක් අල්මාරියේ ඇතුළත අලවා තිබුණි. ජීවිතය වෙනස් කර ගන්නට තමා ගත් තීරණය ඇය මට දැනුම් දුන්නේ අල්මාරියේ ආධාරයෙනි.

දික්කසාද වන්නට තීරණය කළ මොහොතේ අමලි මගෙන් කිසිවක් ඉල්ලා සිටියේ නැත .

බෙදා ගන්නට මහා ලොකු වත්කමක් අපිට නොවුණු බව සැබෑවකි. එහෙත් ඇය අල්මාරිය ඉල්ලා සිටියාය. වෙන්වීමේ වේදනාවෙන් බරිත වී සිටි මට වුවමනා වූයේ මේ මූසල අල්මාරියට ඇය මෙතරම් දැඩි කැමැත්තක් දක්වන්නේ ඇයිද යන්න දැන ගැනීමට පමණි . එහෙත් එය පිළිතුරු නැති ප්‍රශ්නයකි.

නාඳුනන පිරිමින් හය හත් දෙනෙක් පැමිණ, ගොඩනැගුවාටත් වඩා ප්‍රවේශමෙන් සුපරික්ෂාකාරී ලෙස අල්මාරිය ඇණයෙන් ඇණය , ලීයෙන් ලීය ක්‍රමානුකූලව ගලවන අයුරු අපි දෙදෙනා බලා සිටියෙමු. එසේ අපි දෙදෙනා ඉදිරියේ බිඳ වැටෙමින් තිබුණේ එක් කලෙක "ආදරයේ අල්මාරිය" යනුවෙන් අපි හැඳින්වූ නිධානයයි. මේ මූසල අල්මාරි රාජයා යළි ඇය ගොඩනගන්නේ කොහිද..? කාගේ ගෙදරකද..? එහි පිරවෙන්නේ කාගේ ඇඳුම් ද...? පෙර පරිදිම තට්ටු කීපයක් ඇය නොඉපදුණු දරුවන් වෙනුවෙන් වෙන කර තබයිද....?

"මේ අල්මාරිය හදපු මුල් වතාවේ වගේ හයියට තියන එකක් නැහැ දෙවැනි වතාවේ ගලවලා ආයේ හැදුවාම...ඇණ බුරුල් වෙයි. තට්ටු කඩා වැටෙයි. .." ඇය කීවාය.

හුරතල් වදන් . කෙළිලොල් හැසිරීම් වලින් දවස පුරවාගෙන සිටි මේ ගැහැනිය හදිසියේම සංකීර්ණ වදන් ගෙනහැර දක්වන්නේ කෙසේදැයි සිතා ගන්නට මට නොහැකි විය. "මේ අල්මාරිය ගෙදර ගෙනැල්ලා මුල් වතාවට එකේ දොරවල් ඇරපු වෙලාවේ මගේ හිතේ හුඟක් බලාපොරොත්තු ඇති වුණා . අල්මාරිය ගැන නෙමෙයි. අපේ ජිවිත ගැන."

"ඔයා හිතන්නේ අපි දෙන්නා වෙන් වුණේ මේ අල්මාරිය හින්දා කියලද...?" මම ඇසුවෙමි.

"නැහැ. අල්මාරියකට පුළුවන්ද දෙන්නෙක්ව වෙන් කරන්න..ඒත් මේ අල්මාරිය මට ජීවිතේ ගැන ලොකු පාඩමක් කියලා දුන්නා.."

"මොකක්ද..?"

"ජිවිතේ සමහර දේවල් කවදාවත් ලබා ගන්න බැහැයි කියලා. සමහර තට්ටු කවදාවත් පුරවන්න බැහැයි කියලා. හිතේ ඉන්න දරුවෝ කවදාවත් මේ ලෝකෙට එන්නේ නැහැයි කියලා...හිස් තට්ටුව දිහා බලාගෙන හිටියට වැඩක් වෙන්නේ නැහැයි කියලා..."

අමලි පමණක් නොව අල්මාරියද යන්නට ගොසින් දැන් දෙවසරක් ගත වී තිබේ. ඇය ගැන කිසිදු ආරංචියක් නොවූ හෙයින් ඇයව සොයා යන්නටද මට වුවමනාවක් තිබුණේ නැත.

උස් පහත් වීම් මැද්දේ වුවද ජීවිතය හෙමින් සීරුවේ ඉදිරියට ඇදෙන්නට වූ විට මම නිසොල්මනේ එයට මුහුණ දුන්නෙමි. එහෙත් එක් දිනක අපි අල්මාරිය මිලට ගත් වෙළඳ ආයතනයෙන් ලැබී තිබුණු කුඩා ලිපියක කියවුණේ මා වෙනුවෙන් ලිපි ගොනුවක් ඔවුන් සතුව තිබෙන බවයි.

එය වනාහි තවත් එක වෙළඳ ප්‍රවර්ධන උපක්‍රමයක් යැයි සිතූ මා කිසිදු වැඩිදුර විමසීමකින් තොරව එය කුණු කූඩයට දැමුවෙමි. එසේ වුවද නිවසට වුවමනාව තිබූ අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක් වෙනුවෙන් මාස කීපයකට පසු වෙළඳ සැලට ගොඩවුණු මොහොතේ ආදර අල්මාරියම වැනි, ඒ හා විශාලම තවත් අල්මාරියක් පෙර තිබුණු ස්ථානයේම තිබෙණු දැක එහි ළංවීමි.

ිසිදු වෙනසක් නැත . එය අප සතුව තිබූ අල්මාරියමය. නිකමට මෙන් දොරක් විවර කළ විට මගේ නාස් පුඬු සිප ගත් සුවඳින් හිස කරකැවෙන්නට විය. දෙනෙත් කඳුළු කැට පැමිණ තිබුණි. ඇඳුම් ආරක්ෂා කර ගන්නට අමලි යොදා ගත් විලවුන් වර්ගයේ සුවඳ මතින් මම අතීතයට ඇවිද ගියෙමි.

"මේ අල්මාරිය පරණ එකක්. අවුරුදු ගානකට කලින් ගත්ත කෙනා ආයෙත් ගෙනැත් දුන්න එකක්. ඒ නිසයි අඩු මිලකට දාලා තියෙන්නේ..." සේවකයෙක් කිවේය. ඔහුගේ මග පෙන්වීම මත උඩු මහලට නැග ගත් මගේ වුවමනාව වූයේ නිසි බලධාරි තැන මුණ ගැසීමයි.

"සමාවෙන්න. මාස කීපයකට කලින් ඔබ මට ලිපියක් ඒවා තිබුණා ලිපි ගොනුවක් ගැන කියලා...?"

"ඔව්. මට මතකයි. එය අපිට ලැබුණේ අර පල්ලෙහා පේන ලොකු අල්මාරියේ ලාච්චුවක හැංගිලා තිබිලා.

ඒක ආයේ ගෙනාව මහත්මියගේ අංකයක් තිබුණේ නැහැ. ඒත් අවුරුදු ගානකට කලින් ඔබ මිලදී ගනිද්දී ලබා දුන් ලිපිනය අපි ළඟ තිබුණා . මිනිසා මගේ අතේ තැබුවේ වෛද්‍ය වාර්තා කීපයකි. මාස හයක ප්‍රථමාධාර භටයෙකු ලෙසින් ලබා තිබුණු පුහුණුව නිසා ඒ වාර්තා වටහා ගැනීමේ අපහසුවක් මට නොවිණ . මුල් අවදියේම සොයා ගනු ලැබූ පිළිකාවක් සුව කරනු පිණිස ගර්භාෂය ඉවත් කරන්නට සිදුව ඇති බව වෛද්‍යවරයා විසින් අමලි වෙත ලබා දුන් සටහන්ය එහි වූයේ . එය සිදුව තිබුණේ අපේ වෙන්වීමෙන් සිවු මසකට පසුවයි.

"මම දුටුවා ඔබ අල්මාරිය ඇරලා බලනවා. මම මේ ආයතනයේ වැඩ භාරගෙන තාම මාස අටයි. මම ලිපි ගොනු වල දැක්ක දෙයක් තමයි ඔය අල්මාරිය ඔබට කලින් තවත් දෙදෙනෙක් අතට ගොහින් තිබුණු බව..."

"ඒ කියන්නේ අපි අරන් තියෙන්නේ පාවිච්චි කරපු එකක්..?"

"ඔව්..පුදුමයකට වගේ කිසිම කෙනෙක් ඒක දිග කාලයක් තියා ගන්නේ නැහැ. ආයෙත් අපිටම විකුණනවා. කීප වතාවක්ම ගලවලා එකතු කරපු හින්දා දැන් ඒ අල්මාරිය කලින් තරම් ශක්තිමත් නැහැ...."

තරුණ යුවළක් ඒ අල්මාරිය දෙස බලමින්, පිරික්සමින් , සේවකයෙක් වෙතින් නොයෙක් දේ විමසනු පහත මාලයේදී මම දුටිමි. ඔවුහු එය මිලදී ගන්නට අදහස් කරයි නම් එය වළක්වා ලීමේ දැඩි වුවමනාවක් මට ඇති විය. අමලි බොහෝ විට ඇය වුවමනාවෙන්ම මේ ලිපි ගොනුව අල්මාරියේ අමතක කර දමා යන්නට ඇත.

යම් හෙයකින් එය මා වෙතට පත් වූ පසුව අපට දරුවන් ලබා ගන්නට නොහැකි වූයේ ඇයි දැයි යන්න වටහා දීමට ඇය ගත් උත්සාහයක් විය හැකිය.

පණිවුඩය එවන්නට ඇය යොදා ගත්තේ අල්මාරියයි. ඒ අල්මාරිය නම් කිසිවෙකුත් දිගු කලක් ළඟ තබා නොගත් වස්තුවකි. කිසිවෙකුගේත් දීර්ඝ කාලීන ආදරයට හසු නොවුණු දරුවෙකු බඳුය එය.

"ඔයා කැමතිද අතන තියන ඇඳට...." සෝනියා මා අසලට පැමිණ විමසුවාය.

"ඔව්. එක ලස්සනයි. නිල්පාට නේ.." මම පිළිතුරු දුනිමි.

"අපේ ඇඳ ළගින්ම තියා ගන්න පුළුවන්. බබා ඇහැරිලා අඬන්න ගත්තාම බලන්න ලේසියි.. " ඇය කීවාය. මම ඇගේ සඳ මෙන් පිරිපුන් මුහුණ දෙස බලා හය මස් හැවිරිදි කුසට අත තැබුවෙමි. හිතේ සැරිසැරූ දරුවා සුවෙන් නිදන අයුරු මට දැනුණි .

 https://archives1.silumina.lk/2020/11/21/%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%92/%E0%B6%86%E0%B6%AF%C2%AD%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A-%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%C2%AD%E0%B6%BB%E0%B7%92%E0%B6%BA

Nihal Ananda

unread,
Nov 3, 2023, 2:16:56 AM11/3/23
to ind...@googlegroups.com
"ආදර අල්මාරිය ....."
කතාව හොඳයි...., කියවාගෙන යන්නට හිතෙනවා, අවසානය දකින්නට. 
සුලභ තේමාවක්..... කතාව හරියට ගොතා නැහැ. 
කෙටි කතාවක් විදියට .... සාර්ථක නැහැ.  
-hera 

Nissanka Rajapaksa

unread,
Nov 3, 2023, 10:48:13 PM11/3/23
to INDRAKA group
 2
බුහුටි ප්‍රේමය

- චූලාභය ශාන්ත කුමාර හේරත්

බසයෙන් බැස කටුගස්තොට පාලමේ වම් පස පදික මං තීරුව දිගේ ඈ වේගයෙන් ඇවිද එද්දී, බස්නා හිරු බොර ගංදිය මත දිදුලමින් සිටියදී, පාලමේ මැද හරියට වන්නට ගඟ පැත්තට නැමී සිටි ඩෙනිම් කලිසමකින් සහ පොඩිවුණු කමිසයකින් සැරසුණු කිසිදු අරමුණකින් තොරව මෙන් ගංදිය දෙස බලා සිටි තරුණයෙක් එක්වරම සිය සාක්කුවෙන් ගත් කඩදාසි ගුලියක් සියලු වෙර යොදා ගඟේ ඈතට එල්ලයක් ගෙන විසි කරත්ම හුන්නස්ගිරිය දෙසින් හමා ආ සුළං රැල්ල හේතුවෙන් ගුලිය ලිහී කුඩා තීරුවලට ඉරා තිබුණු කඩදාසි කැබලි සුළඟේ පාවෙමින් ගංදිය මත හිරිපොද වැස්සක් සේ පතිතවෙද්දී නිරංජලා එක් වරම ගල් ගැසුණාක් මෙන් පාලම මත නැවතුණාය.

සුදු පැහැති කඩදාසි කැබලි බොර ගංදිය මත මොහොතකින් සැඟව ගියේය. පියවි සිහිය එළඹෙන තුරු ඈ මොහොතක් සිටි අතර තමා නැවතී සිටින්නේ දෙනෝ දහසක් දෙනා යන එන පටු මංතීරුවක මධ්‍යයේ බව ඇයට හැඟුණේ ඇඟේ හැපුණු කාන්තාවක් නොසරුප් බැල්මක් හෙළමින් යමක් මුමුණමින් යද්දීය.

තරුණයා විසින් වීසිකරන ලද කඩදාසි කැබලි ගං දිය මත පතිත වද්දී ඇයට දැනුණේ ඒවා සියුම් කිතියක් ඇති කරමින් සිය හදවතේ ගැඹුරුම තැනක පතිත වන්නාක් මෙන්ය. ඒ කිතියේ වේදනාත්මක රතියක් සමඟ කුතුහලයක්ද විය. නිරංජලාට එක්වරම මතකයට ආවේ දින දෙක තුනකට පෙර සොනාලි කියාදුන් ඒ ගවේෂණාත්මක අභ්‍යාසයයි. එහෙත් ජනාකීර්ණවූ නගරයේ මහ මඟ අයිනකට වී ඒ අභ්‍යාසය අත්හදා බැලිය නොහැක.

මීට අවුරුදු දෙකකට පෙර තමාට හතළිහ ලැබූ දා සිට ඇය පාලමෙන් මෙගොඩ බසයෙන් බැස පාලම තරණය කර ගොහාගොඩ පාරේ කිලෝමීටරයක දුර දිනපතා උදය සවස පයින්ම යෑම සිය දෛනික කාලසටහනේ අත්‍යාවශ්‍යම අංගයක් බවට පත් කර ගත්තාය. ස්ථුල සිරුරක් නැතත් සිහින් සිරුරක් පවත්වාගන යන්නට ඇය කෑමෙන් බීමෙන් සහ චර්යාවෙන් ද මහත් අවධානයක් යොමු කරන්නීය.

එහෙත් සිහින්ව ඉරණ ලද කඩදාසි කැබලි විසින් ඇති කරන ලද කිතිය විසින් ව්‍යායාමය අමතක කර ඇයව සීගිරි සිනමාහල අසලදී ත්‍රීරෝද රියකට නංවනු ලැබුවේය.

“මේ මොකද අද?”

ත්‍රීරෝදයේ හඬින් තිගැස්සී කියවමින් සිටි බුදුසරණ පුවත් පතෙන් දෑස මෑත් කළ අතුල ගේ අම්මා උපැස් යුවළ යටින් පුදුමයෙන් මෙන් බලමින් ඇසුවාය.

“පයින් එන්න බෑ කියලා හිතුණා අම්මෙ.. හරි මහන්සියි..”

“එළවළු ගෙනාවෙත් නැද්ද..?”

නිරංජලා ගේ දෑත දෙස බලමින් ඈ ඇසුවේ නෝක්කාඩු ස්වරයෙන්ය. බසයෙන් බසිද්දී ඇයට එළවළු මතක තිබිණි. එහෙත් ගංදියෙහි විසිරුණු කඩදාසි කැබලි ඒ මතකය විකල් කර දමා තිබුණේය.

සඳුදා, බදාදා සහ සිකුරාදා වැඩ ඇරී එද්දී කටුගස්තොටින් එළවළු මල්ලක් ගෙන ඒම ඇගේ කාලසටහනේ අනිවාර්ය අංගයකි. මල්ලක් කීවාට දෙසිය පනහ ගණනේ වර්ග දෙක තුනකි.

මොරගහකන්ද ව්‍යාපෘතියේ සේවය කරන අතුලත්, සබරගමු විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන තාරිකාත් ගෙදර එන්නේ සති අන්තයේය. සතියේ දින පහේ ගෙදර සිටින්නේ නිරංජලාත් අතුල ගේ අම්මාත් පමණි. විශ්‍රාමලත් ගුරුවරියක වන අතුලගේ අම්මා ශීතකරණයේ දමන එළවළු කන්නේම නැත. ශීත කළ ආහාර භාවිත නොකරන මෙන් ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා දුන් උපදේශය ඇය අකුරටම ක්‍රියාත්මක කරන්නීය.

“හන්දියෙ කඩෙන්වත් එළවළු දෙකක් අරං එන්නද?”

“දැන් ඕනැ නෑ..ඔය තියන දෙයක් උයලා ගමු..”

නුරුස්සන හඬකින් කියූ ඈ යළිත් පත්තරයට එබුණාය.

නිදන කාමරයට පිවිස සාරිය ගලවා දමා යට ගවුම පිටින්ම ඇඳේ වැතිර සොනාලි කියාදුන් අභ්‍යාසය අත්හදා බැලීමේ දැඩි ඕනෑ කමක් තිබුණත් සිය බ්‍රෑන් කැකර් බිස්කට් දෙකත් සීනි හැඳි බාගයක් දැමූ මේද රහිත කිරි තේ කෝප්පයත් පරක්කු වුවහොත් ඇණුම්පද කියමින් මුහුණ එල්ලා ගන්නා නැන්දම්මාව සිහිපත් වී වහා දිග ගවුමකට මාරුවූ ඇය කුස්සියට රිංගා ගත්තාය.

නිරංජලා ගෙදර ඇත්නම් අතුල ගේ අම්මා කුස්සියට එන්නේම නැත.

“අද රේවත හාමුදුරුවන්ගෙ හොඳ බණක් ගියා....”

තේ කෝප්පය අතට ගනිමින් ඈ පැවසුවාය. ඇය මෙතැන් සිට තමාට ද ධර්මදේශනාවකට සවන් දෙන්නට සිදුවන බවට කළ ඉඟියකි. දවසින් වැඩි කාලයක් රූපවාහිනිය ඉදිරියට වී ආගමික නාළිකා දෙක තුනක චැනල් මාරුකරමින් බණ අසන ඇය සවස තේ පානයේ දී දහවල් ඇසූ ධර්ම දේශනාවක වරුණාව නිරංජලාට කියන්නේ ද ධර්මදේශනාවක් පවත්වන ආකාරයටය. ඒ විෂය කෙරෙහි උනන්දුවක් නොදැක්වූවත් ඊට සවන් දෙන බව ඇයට පෙන්වමින් ඈ ඉදිරියේ රඟපාන්නට නිරංජලාට සිදුව තිබේ. එය මඟ හැර ගියහොත් නින්දට යන තුරුම ඇගේ ඇණුම්පද වලට ලක්වන්නට නිරංජලාට සිදුවන්නේය.

බ්‍රහ්ම ලෝක පිළිබඳව ගැඹුරු අභිධර්ම පාඩමක් ඈ නිරංජලාට විස්තර කරන්නට පටන් ගත්තේ දුර්වල ශිෂ්‍යාවකට උගන්වන ගුරුවරියක මෙන්ය. එහෙත් නිරංජලාගේ සිත තිබුණේ ගංදියෙහි විසිරුණු කඩදාසි කැබලි අතරේය.

සොනාලි කියා දුන් පාඩම් ක්‍රම වේද සියල්ල ඈ සිය දින පොතේ පිටුවක කෙටියෙන් සටහන් කර ගත්තාය. ඒ අනුව පියවරෙන් පියවර සෙමින් ඉදිරියට යා යුතුය.

සියල්ල කළ යුත්තේ නැන්දම්මාට නොපෙනෙන්නටය. ඇයට බුහුටි දුරකථන අපත්‍යය. ඉඳහිට නිවාඩුවකට ගෙදර එන තාරිකා අත්තම්මාගෙන් බැණුම් අසන්නේ දවසෙන් වැඩිම කාලයක් දුරකථනයට එබී සිටීම නිසාය.

“මොන විකාරයක්ද?..උදේ නැඟිට්ට වෙලාවෙ ඉඳන් රෑ දෙගොඩ හරියක් වෙනකම්ම ඕකට ඔළුව නමාගෙන, කන්නෙ බොන්නෙ නෑ, කතාබහක් නෑ, ගෙදර වැඩක් පළක් කරන්නෙ නෑ..එළියට බැස්සමත් හැම තැනම ටෙලිෆෝන් වලට ඔළුව ඔබාගත්ත එවුන්..දැන් මේක වයසක උන්දලාටත් බෝවෙලා. සිල් ගන්න ගමනුත් ඕකට හොරෙන් එබෙනවා.මහ වසංගතයක් නෙ...”

“අත්තම්මා දැන් මිනිස්සු ලෝකෙ ගැන දැනගන්නෙ ස්මාර්ට් ෆෝන් එකෙන්.. මේක දැන් විශ්වවිද්‍යාලයක් වගේ....”

තාරිකා කියන්නේ අත්තම්මාව අවුස්සන්නටය.

“අනේ මේ මට ඒ ගැන කියන්න එන්න එපා.. අපි ලෝකෙ ගැන ඉගෙනගත්තෙ ඕවට එබිලා නෙවෙයි.. පොත් පත් කියවලා.

ඇය තාරිකාට උත්තර දෙන්නේ කේන්තියෙන්ය.

නිරංජලාට ද බුහුටි දුරකථන සමඟ තිබුණේ නැන්දම්මාට සමපාත විය හැකි විවේචනයක්ය. නිවසේදී තාරිකා එයට අබ්බැහිව කල් ගෙවීම මෙන්ම කාර්යාලයේ බොහෝ දෙනෙක් ඊට නැඹුරු වී වැඩ අතපසු කිරීම එයට හේතුව වී තිබිණි. කච්චේරියේ සුබ සාධන අංශයේ පාලන නිලධාරිනිය වූ නිරංජලා සතුව තිබූණේ දස වසරකටත් වඩා පැරණි නොකියා දුරකථයක් ය. පුවරුවේ ඇති ඇතැම් අංක සහ අකුරු මැකී තිබුණ ද අැමතුමක් ලබා ගන්නට සහ කෙටි පණිවිඩ හුවමාරු කරගැනීමට ඇයට එය ප්‍රමාණවත් විය.

එහෙත් පසුගිය සතියේ ඇගේ උපන් දිනය දා අතුලත් තාරිකාත් එක්ව ඇයට දුන් උපන් දින තෑග්ග බුහුටි දුරකථනයක්ය.

දැන් අම්මිට මටයි අප්පච්චිටයි වීඩියෝ කෝල්ස් ගන්න පුළුවන්, සුදු පුංචිට කතාකරන්න කෙළින්ම කැනඩාවට යන්න පුළුවන්... මම ෆේස් බුක් එකවුන්ට් එකකුත් හදලා දෙන්නම්...”

“අනේ නැතුවට කමක් නෑ.. ඕවා නිකං කාලේ කන වැඩ...මේක වුණත් අපරාදෙ. අර පරණ ෆෝන් එක මට හොඳටම ඇති..”

ඒ බුහුටි දුරකථනයේ විසල් තිරයේ පිපී ඇති රතුරෝස පොකුර දෙස බලමින් හිතේ ඇති සතුට සඟවා ගනිමින් නිරංජලා කීවාය.

“ෆේස් බුක් නම් නොයන එකමයි හොඳ.. ඒකෙ තියෙන්නෙ එක එකාගෙ පම්පෝරිනෙ..කන බොන හැටි, නිදාගන්න හැටි, සමහර ගෑනුන්ට කිසිම පුද්ගලිකත්වයක් නෑ. හැම මඟුලක්ම ඒකෙ දානවා..මහ විකාරයක්.. ”

පුරුද්දක් හැටියට රෑ කෑමට පෙර හොරෙන්ම ගන්නා පරණ අරක්කු මාත්‍රාව නිරංජලාගේ උපන් දිනය වෙනුවෙන් දෙගුණ කර ගෙන සිටි අතුල කීවේය.

අතුල ගේ මව හිටියේ ලේලියගේ උපන්දින තෑග්ග ගැන නොසතුටින් බව ඇගේ මුහුණේ ලියවී තිබුණේය.

උපන් දිනය වෙනුවෙන් කාර්යාලයට ගෙන ගිය රිබන් කේක් වලටත් වඩා කෙල්ලන්ගේ අවධානය යොමුව තිබුණේ නිරංජලාගේ අලුත් බුහුටි දුරකථනය වෙතටය.

“නිරංජලා මිසුත් එහෙනම් ස්මාට් වුණා”

සොනාලි එය අතට ගනිමින් කීවාය.

“ ශා...මේකෙ හැම ඔප්ෂන් එකක්ම තියනවා..ඇටෑච් බාත්රූම් එකක් විතරයි අඩු..”

ඔෆීස් එකේ කෙල්ලන්ගේ දුරකථන උපදේශිකාව වූයේ සොනාලිය. බුහුටි දුරකථන ගැන ඇයට තිබුණේ පුදුම දැනුමක්ය.

“මිස් මිස්ගෙ ෆේස්බුක් එකට මාවත් ඇඩ් කරගන්න..”

“මම ෆේස් බුක් එකේ නෑ”

“ අපි එකවුන්ට් එකක් හදමු”

ලෝචනා කීවාය.

“අනේ මට ඔය ෆේස් බුක් ඕනැ නෑ.. මගෙ ඒ වයස දැන් පහුවුණා..”

“ ඒකට වයස ප්‍රශ්නයක් නෑ මිස්.. අපෙ අම්මටත් එකවුන්ට් එකක් තියනවා..ඒ හින්දා දැන් ලෙඩත් අඩුයි.. වැඩේම පරණ යාළුවො එක්ක චැට් කරන එක”

නිරංජලාගේ බුහුටි දුරකථන සාක්ෂරතාව තිබුණේ බින්දුවේය. තාරිකා කියා දුන්නේ එහි මූලික ව්‍යාකරණ පමණක්ය. එහි ක්‍රියා කාරිත්වය පිළිබඳ බොහෝ දෑ ඈ දැන ගත්තේ ඇගේ සංවර්ධන සහායිකාව වූ සොනාලි ගෙන්ය. ඉතා සංකීර්ණ කාරියක් සේ පෙනුන ද පියවරෙන් පියවර ඉදිරියට යද්දී එය ඉතා සරල, විස්මය ජනක, සුන්දර අත්දැකීමක් බව ඇයට පසක් වූවාය.

“ දුවයි අප්පච්චියි එකතුවෙලා අම්මටත් බෝකරලා තියෙන්නෙ වසංගතේ...”

සාලයේ සෝපාවකට වී “මල් මිටේ රේණු..” ගීතයේ රූප රාමු නරඹමින් සිටියදී කීප වතාවක්ම එතනින් එහා මෙහා ගිය අතුලගේ අම්මා කීවාය. විසි වසරක් පුරා නිවසේ සාමය වෙනුවෙන් නිහඬව පසුබැසීමේ උපක්‍රමයට හුරු පුරුදු වී සිටි නිරංජලා ඉන් පසුව නිවසේදී බුහුටි දුරකථන භාවිතය සිය නිදන කාමරයට පමණක් සීමා කරන්නට සැලකිලිමත් වූවාය.

“ අක්කෙ දැන් ඔයත් එන්නකො ෆේස් බුක් එකට.. හැමෝම ඉන්නවා. ඔයා විතරයි අඩු...”

කැනඩාවේ සිටින සුදු නංගී වීඩියෝ කෝල් එකකදී කීවාය. බුහුටි දුරකථනය භාවිතය පටන් ගත්දා සිට ෆේස් බුක් ආසාවක් හිතේ තිබුණත් ඈ එය සඟවාගෙන සිටියේ තමා එයට නොකැමති බව ප්‍රසිද්ධියේම කියා තිබූ හෙයින්ය.

පසුදා කෑම විවේකයේදී වැව රවුමට ගොස් නිරංජලා ගේ පින්තූර කීපයක් ගත් සොනාලි දළදා මාළිගය පසුබිමේ ඇති පින්තූරයක් තෝරා එය සංස්කරණය කර ෆේස්බුක් ගිණුමක් සාදා දුන්නාය. එදා හවස්වරුවේ සියලු රාජකාරී ලිපිගොනු පසෙක තබා ඈ සොනාලිගෙන් ෆේස් බුක් භාවිතය ඉගෙන ගත්තේ නොදන්නා විෂයක් උනන්දුවෙන් ඉගෙන ගන්නා පාසැල් ශිෂ්‍යාවක මෙන් පියවරෙන් පියවර කෙටි සටහන්ද ලියා ගනිමින්ය.

ඉන් නිරංජලාගේ සිත වඩාත්ම බැඳුණේ කෙනෙකුගේ නම ටයිප්කර ඔහු හෝ ඇය ගේ තොරතුරු සොයාගැනීමේ ගවේෂණාත්මක අභ්‍යාසය වෙතටය. එය ඇයට විස්මය ගෙන දෙන්නක් විය. මතකයේ යටපත්ව තිබූ පැරණි මිතුරියන් බොහෝ දෙනෙක් ගේ,වත ගොත, තොරතුරු, පින්තූර සමඟම එහි විය.

“මිස් අඳුනන්නෙ නැති අයත් එක්ක වීඩියෝ කෝල්ස් නම් කොහෙමත්ම එපා..”

සොනාලි කීවාය. ඈ කියූ ඇතැම් දේවල් හිතාගන්නටත් බැරිය. පටිගත කර අන්තර්ජාලයට මුදාහරින ලද ලාංකිකයන්ගේ වීඩියෝ සංවාද කීපයක් ඈ එහි වෙනත් වෙබ් අඩවියකට ගොස් පෙන්නුවාය. සිය සර්වාංගයම හිරිවැටී යන්නාක් මෙන් විය. එවැනි වෙබ් අඩෙවි ගැන අසා තිබුණත් ඈ එවැන්නක් දැක තිබුණේ නැත. එහි කිමිඳයාමේ කුතුහලයක් තිබුණත් තමාට වඩා වසර පහළොවකින් පමණ බාල සොනාලි සමඟ ඒවා බලද්දී ලජ්ජාවක්ද දැනිණ.

“ අනේ ඕක ක්ලොස් කරන්න”

ඒ වෙබ් අඩවියේ නම හොඳින්ම මතකයේ ලියා ගත් ඈ තදින් දෑස වසාගත්තාය.

කටුගස්තොට පාලම මත සිටි තරුණයා ගංදියට වීසි කළ සිහින් කඩදාසි කැබලි විසින් ඇතිකරන ලද කිතිය සමඟ ඇවිස්සුණු සියුම් වේදනාත්මක රතිය සහ කුතුහලය විසින් සොනාලි කියාදුන් ඒ ගවේෂණාත්මක අභ්‍යාසය අත්හදා බැලීමේ ඕනෑකම ඈ බලහත්කාරයෙන්ම යටපත් කරගෙනම ඉක්මනින්ම රෑ කෑම පිළියෙල කළාය. කෑමෙන් පසු ඉක්මනින්ම කුස්සිය අස්පස් කර දමා ඇඟපතද සෝදාගෙන රෑ ඇඳුමකට මාරුවූ ඇය නිදන කාමරයට ගොස් දොර වසා ගත්තාය.

ඇඳ විට්ටමට දැමූ කොට්ට දෙකකට හේත්තුවී දින පොතද දිග හැර බුහුටි දුරකථනය ගෙන එහි ෆේස් බුක් පිටුවට ඇතුළ් වෙද්දී ඇයට කිසියම් තිගැස්මක් දැනිණ. තමා මේ ඇඟිලි තුඩින් පහුරුගාන්නට යන්නේ වසර විසිහතකට පෙර සිහින්වට ඉරා මහවැලි ගංදියේ පොඟවා, ගිල්වා මකා දැමූ අතීතයක්ය. ඔහුගේ නම ශ්‍රීමාල් අබේකෝන් බව මතකය. එය සඟවා වළදමා තිබුණේ ජීවිතයේ නැවත ආවර්ජනය කළ නොයුතු අප්‍රසන්න මතකයන් අතරේය. ඒ දහසය හැවිරිදි දැරිය කෙමෙන් වියපත් වන විට ඒ මතකය ද සම්පූර්ණයෙන්ම මැකී ගොස් තිබුණේය.

ශ්‍රීමාල් අබේකෝන් යන්න ටයිප් කර සෙවීමේ සලකුණ මත ඇඟිල්ල තැබූවිට ආවේ ශ්‍රීමාල් අබේකෝන්ලා සිය ගණනක ගේ ලැයිස්තුවකි. වසර විසි හතකට පෙර මතකයේ යාන්තම් බොඳවූ ඡායාවක් සේ ඇඳී තිබුණු ඒ දහ හත් හැවිරිදි හිරිමල් තරුණයාගේ මුහුණ ඒ මුහුණු අතරින් සොයා ගැනීම පහසු නැත. එක් එක් ගිණුම දිගහැර ඒවායේ සැරි සරමින් පින්තූර බලමින් තම මතකයේ රැඳී තිබුණු බොඳවුණු ඡායාවට යාන්තම් සමාන කමක් ඇති මුහුණක් සොයා ගන්නා විට මධ්‍යම රාත්‍රියට ද ආසන්න වී තිබිණි.

මඳක් කෙස් අඩුව තිබුණත් ඒ රැලි ගැසුණු කොණ්ඩය එලෙසින්මය. දිගැටි මුහුණේ වක් වූ නැහැයත් නළල් තලය සහ ඒ තියුණු දෑසත් මතක ඡායාවට සමපාත විය. ඔහු ආදි සිල්වෙස්තරයෙක් බව දකිද්දී සිය හෘද ස්පන්දන වේගය වැඩි වන බවක් දැනිණ. උගුර කට වේළීගොස් සියොළඟම හිරි වැටුනාක් මෙන් විය. මේ එදා භද්‍ර යෞවනයේදී තම සිත වසඟ කළ ශ්‍රීමාල් අබේකෝන් මය.

ඔහු සිටින්නේ ඉතාලියේය. රැකියාව සූප වේදයය. එහි ඔහු “ සිංගල් ” යැයි සඳහන් කර තිබීම ඇයට විශ්මය දනවන්නක් විය. කඩවසම් පෙනුමැති හතළිස් තුන් හැවිරිදි වියේ පසුවන ඔහු තවමත් අවිවාහකයෙක් ය. අත් නැති බැනියමකින් සහ කෙටි කලිසමකින් සැරසුණු ඔහුගේ ඡායාරූපයක් දැක සිය සර්වාංගයම හිරිවැටී යන්නාක් සේ ඇයට දැනිණ. එකල ද ඔහුට වූයේ සවිමත් කඩවසම් සිරුරක්ය.

මතකයෙන් සම්පූර්ණයෙන්ම මකා දමා තිබූ පුස් ගඳක් එක්වරම ඇගේ නාස් පුඬු වලට දැනෙන්නට විය. ඒ ගඳ ආවේ පේරාදෙණිය පාරේ මුල්ගම්පොළ වසා දමා තිබූ කුඩා පාළු නිවසකින්ය.

සිතාරා සමඟ නිරංජලා පාසල් යන්නට දුම්රියට නගින්නේ යටවරින්ය. ශ්‍රීමාල් සහ මිතුරු කැල වත්තේගමින්ය. එතැන් සිට දුම්රියම රස ගුලාවක්ය. රූකාන්තගේ, නාමල්ගේ, ප්‍රින්ස්ගේ ගීත ඔවුන්ටත් වඩා හොඳට ශ්‍රීමාල් ගයන්නේය. පාසල් රග්බි ක්‍රීඩකයෙක් වූ ඔහු සිත්ගන්නා දඟකාරයෙක්ය. මුලින් ඇස්වලින් කළ කතා බහ අකුරු වලට පෙරළී ප්‍රේම පත්‍ර හුවමාරු වන්නේ හොර රහසේමය. ඒවායේ ද වැඩිපුර තිබුණේ සින්දු කෑලිය. මේ සියල්ල සිදුවන්නේ සාමාන්‍ය පෙළට සූදානම්වන අතර වාරයේය.

බාලදක්ෂ මූලස්ථානයේ තිබූ සේමසිංහ සර් ගේ ගණිත සම්මන්ත්‍රණයට යන මුවාවෙන් පාට ඇඳුමෙන් සැරසී විත් ශ්‍රීමාල් සහ තවත් යුවළක් සමඟ මුල්ගම්පොළ පාළු නිවසට ගිය ගමන මතක් කිරීම පවා බියකරුය. දහසය හැවිරිදි ලජ්ජාශීලී දැරියට එවැනි ෙෙධර්යයක් ලැබුණේ කෙසේද යන්න අදටත් සිතාගත නොහැක. සැබැවින්ම ඒ තමාමද? පිරිමියෙකුගේ පපුතලය උණුසුම් බවත් ප්‍රේමය වහා ගිනිගන්නා සුලු බවත් ඈ දැනගත්තේ එදාය. ගින්න පැතිර යන්නට පෙර නිවා දැමුණි. එහෙත් සියලු මතක මකා දැමුවත් ඒ පාළු නිවසේ වූ පුස් ගඳ මතකයෙන් මැකී යන්නට බොහෝ කල් ගතවිය.

ශ්‍රීමාල් දුන් ලියුමක් අම්මාට හසුවන්නේ ඔය කාලයේය. ආදර තෙපුල් වලින් මෙන්ම හාදුවලින් ඒ ලිපිය පිරී තිබිණි. අම්මාගේ ගුටිබැට සහ අප්පච්චිගේ සැර වැර වලටත් වඩා දරුණු වූයේ නිවාස අඩස්සියේ සිටින්නට වීමය. උසස් පෙළ පන්තියට යන්නට පෙර සම්බන්ධය නවතා දැමිය යුතු යැයි ඈ තරයේ සිතා ගත්තාය.

ශ්‍රීමාල්ගේ පියාට ගාල්ලට මාරුවක් ලැබෙන්නේ මේ කාලයේය. ගාල්ල ඔවුන්ගේ උපන් ගමය. ඔහු ළඟ ඈ ලියූ ලියුම් තොගයකි. ඈ ඒවා ඉල්ලා සිටියේ සිතාරා අතේ පණිවිඩයක් යවමින්ය. ඔහු ඇයට ලියු ලියුම් තිබුණේ පරිස්සමට සිතාරා ළඟය.

ගාලු යන්නට පෙර ඒ ලිපි නැවත හුවමාරු කරගෙන සම්බන්ධය නතරකර දමන්නට ඔහු ද එකඟ වී තිබිණි. ඒ රහසිගත හමුව සිදුවූයේ සිතාරාගේ මැදිහත් වීමෙන්ය.

එදා කටුගස්තොට අන්තෝනි රඟහලේ උසස් පෙළට නියමිත “මනමේ” පෙන්නුවේය. පාසල් දර්ශනය නරඹා ඈ එළියට එද්දී ඩෙනිම් කලිසමකින් සහ පොඩි වුණු කමිසයකින් සැරසී ඔහු එතැනට පැමිණ සිටියේය. බර කවර දෙකක් දෙදෙනා අතර හුවමාරු විය. ඒ මුහුණ ශෝකයෙන් බරව තිබුණේය. සමුගැන්ම සිදුවූයේ ද ඇස් වලින්ය.

හිරු අවරට යමින් තිබිණි. බස් රියක් ආවේ බොහෝ වේලාවකට පසුවය. බසය පාලම මතින් ගමන් කළේ ඉබි ගමනින්ය. ඈ සිටියේ වම් පැත්තේ කවුළුවක් අසල අසුනකය.

පාලමේ පදික මං තීරුවේ මැද හරියට වන්නට ගඟ පැත්තට නැමී සිටි ශ්‍රීමාල් කිසිදු අරමුණකින් තොරව මෙන් එක්වරම සිය සාක්කුවෙන් ගත් ලොකු කඩදාසි ගුලියක් සියලු වෙර යොදා ගඟේ ඈතට එල්ලයක් ගෙන විසි කරත්ම හුන්නස්ගිරිය දෙසින් හමා ආ සුළං රැල්ල හේතුවෙන් ගුලිය ලිහී කුඩා තීරුවලට ඉරා තිබුණු කඩදාසි කැබලි සුළෙඟ් පාවෙමින් ගංදිය මත හිරිපොද වැස්සක් සේ පතිතවනවා ඈ දුටුවාය. බසය සෙමින් ඉදිරියට ඇදී ගියේය.

යළිත් ඔහුගේ පිටුවට එබුණු ඇය දෙවරක් නොසිතාම මිතුරු ඇරයුම් බොත්තම ඔබා දුරකථනය විසන්ධිකර දෑස පියා ගත්තාය.

“ මේක මාර සප්‍රයිස් එකක් මට. ඔයා දන්නවද මම මේකට ආපු දා ඉඳන් ඔයාව සර්ච් කරනවා. කවද හරි ඔයා ෆේස් බුක් එයි කියලා හිතුවා.. මාරම සතුටුයි..”

පසුදා දුරකථයට එබී බලද්දී ඔහු ඇගේ මිතුරෙක් වී මැසෙන්ජරයට ලියා තිබුණේය.

“සතුටුයි...”

ඈ ලියුවාය. බුහුටි සංවාදය ඇරඹුනේ එතැනින්ය. මුලින් තිගැස්මත් තිබුණත් ඔහු හා සංවාදය ප්‍රිය මනාප විය. ආගිය තොරතුරු වලට සීමාවූ ඒ කතාබහ කල් යත්ම ඔවුනොවුන්ගේ ජීවිත වල අහුමුළු සොයා විනිවිද යන තරම් සමීප විය. දහවලට වඩා ඒවා සිදුවූයේ රාත්‍රියේය. ඔහුගේ සරල ආකර්ෂණීය වචන වලට ඈ බෙහෙවින් ලොල් වූවාය. කාර්යාලයේත් නිවසේත් ගෙවෙන ඒකාකාරී ජීවන රටාවෙන් හෙම්බත්ව සිටි ඇයට ඒ බුහුටි සංවාද මහත් ආශ්වාදයක් ගෙන දුන්නාය. සතියකට දින දෙකතුනක් වත් ඔව්හු මධ්‍යම රාත්‍රිය තෙක් අකුරු හුවමාරු කරගත්හ. ඒ අකුරු අතර හැඟුම්බර වදන්ද බොහෝ විය.

“ මගෙ අයියා නැතිවුණා. මම සතියකට ලංකාවට ආවා..”

දිනක් උදෑසන ඔහු ලියා තිබිණි. ඈ ශෝකය ප්‍රකාශ කළාය.

“ලංකාවෙන් යන්න කලින් මට ඔයාව දකින්න ඕනෑ”

සර්වාංගයම වෙව්ලන්නාක් සේ ඇයට දැනිණ.

“ලංකාවෙ මට හිටපු එකම නෑයා අයියා...ආයෙ මම කවදාකවත් ලංකාවට එන්නෙ නැතිවෙයි..ඒකයි මට ඔයාව දකින්න ඕනැ....වැරදියට හිතන්න එපා. මේක බොහොම අහිංසක ඉල්ලීමක්. මට ඔයාව බලන්න ඕනැ...එච්චරයි.”

ඒ ඉල්ලීම ඉතා කාරුණික එකක් විය. ඔහුව දැක ගැනීමේ ඕනෑකමකින් තමාද පෙළෙමින් සිටින බව ඇයටද දැනිණ.

“මම නුවර එන්නද?”

“එපා..කොහෙත්ම එපා..”

ඈ වහා ලියුවාය. එය අතිශයින්ම බියකරුය. නුවර පුරා සැරි සරන්නේ දන්නා හඳුනන ඇස් ය.

“මාව තේරුම් ගන්න.. සිකුරාදා මම ආපහු යනවා..මට ඕනැ ඔයාව දකින්න විතරයි. ...”

ඒ හැඟම්බර අකුරු ඇගේ හදවතේ ගැඹුරුම තැන ද ස්පර්ශ කරන්නට සමත්විය.

මසකට වතාවක් දෙකක් නගරාන්තර දුම්රියෙන් අමාත්‍යාංශයට යන රාජකාරී ගමන මුවාවෙන් බ්‍රහස්පතින්දා කොළඹදී ඔහුව රහසේ හමුවන්නට ඈ තීරණය කළාය.

සතුට සහ බිය මුසු නන්නාඳුනන ආගන්තුක කුතුහලයකින් සිත පිරී තිබිණි. නගරාන්තර දුම්රිය කඩුගන්නාව බසිද්දී ඈ දෑස පියාගෙන සිහිපත් කරමින් සිටියේ හින්දි චිත්‍රපටවල තමා දැක තිබූ අහඹු හමුවීමේ දර්ශනයන්ය. ඈ ඒවාට බොහෝ සෙයින් ප්‍රිය කළාය. ඇතැම් ඒවා දෑසට කඳුළු උනන තරම් සංවේදීය. ඔහු හමුවේ එතරම්ම සංවේදී නොවිය යුතු යැයි ඈ තරයේම සිතාගත්තාය.

මෙය මවාගෙන ආ රාජකාරී ගමනක් නිසා ගෙන ආ ලිපිගොනු වල වැඩ දහය හමාර වනවිට නිමකර ගත හැකි විය. ඈ ඔහු හමුවන්නට නියමිත එකොළහටය. ඔහුට රිය නවතා ගන්නට කීවේ අමාත්‍යාංශයට මඳක් ඔබ්බෙන් ඇති සුපිරි වෙළඳ සල ඉදිරියේය.

එතනින් ඈ ඔහුගේ රියට ගොඩවන්නේය. ඔවුන් යන්නේ සුපිරි හෝටලයක උද්‍යාන අවන්හලකටය. නිරංජලා දන්නා අය එවැනි තැන්වල ගැවසෙන්නේ නැත. එහි කතාබහ කරමින් දිවා ආහාරය ගෙන හවස දුම්රියට ඈ එන්නේ ත්‍රී රෝද රියකින්ය. ඒ ආරක්ෂිත හමුවීමේ සැලැස්ම ඔහුගේ යෝජනාවක්ය.

“ මම ඇවිත් ෆුඩ් සිටි එක ඉස්සරහා ඉන්නවා.”

දහයයි තිස්පහට ඔහු ඇමතුමක් දුන්නේය.

“ තවව මගෙ වැඩ ඉවර නෑ..මම එකොළහට එන්නම්..”

ඒ උදේ සිට ඔහුගෙන් ලැබුණු හයවෙනි ඇමතුමය. ඇය කාන්තා කාමරයට ගොස් තොල් ආලේපය යාන්තමින් තවරා සාරියෙහි රැලි සකසා විලවුන්ද තවරාගෙන එළියට එද්දී බුහුටි දුරකථනය නැවත නාදවූයේය.

වහා ඈ තිගැස්සින. එවර ඇමතුම අතුලගෙන්ය.

“කරදරයක් නැතුව ආවද?”

“ඔව්..මම මිනිස්ට්‍රි එකේ ඉන්නෙ...”

ඈ වචන ගැටගසා ගත්තේ දෙගිඩියාවෙන්ය.

“ අද හවස කොළඹට සුළං සමඟ මහ වැසි කියලා දැන් නිවුස්වලට කිවුවා..බබා ඔයා කුඩේ ගෙනාවද?”

“ ඔව්...”

“ එහෙනම් පරිස්සමෙන්..මමත් අද ගෙදර එනවා...හෙට නිවාඩුවක් දැම්මා..මේ දවල්ට මොනවා හරි කාලා කෝච්චියට නඟින්න.. නැත්නම් ඔයාට ඉසේ රදේ හැදෙයි...මතකනෙ එදා..”

අතුල ඇමතුම විසන්ධි කළේය. ඈ ගල් ගැසුනාක් මෙන් හිටි පියවරම නැවතුනාය. එවිටම නැවත දුරකථනය නාද විය. ඒ ඇමතුම ශ්‍රීමාල් ගෙන්ය. හිස භ්‍රමණය වන්නාක් මෙන් විය. ඈ ඇමතුම විසන්ධි කළාය. අහසෙහි කළු වලාවන් රොක් වෙමින් තිබිණ. තව මොහොතකින් මහ වැසි වසිනු ඇත. දුරකථනය යළිත් නාද විය. තදින් සුළඟ හමන්නට පටන් ගත්තේය. ඒ සුළඟේ තැවරී තිබුණේ පුස් ගඳකි. ඒ පුස් ගඳ මුල්ගම්පොළ පාළු නිවසින් හමා ආ පුස් ගඳමය. දුරකථනය නිවා අත්බෑගයට දමාගත් ඇය එතැන වූ ත්‍රීරොදයකට නැග්ගාය.

ඈ කටුගස්තොටින් බසයෙන් බැස්සේ ඔළුව පුපුරණ තරම් හිස රදයක්ද සමඟින්ය. මනස අවුල් ජාලාවක්ය. එතැන ඉදිරියෙන් ඇති බෝමළුව වෙත ඈ ගියේ සිත මඳක් සන්සුන් වන තුරු රැඳෙන්නටය. එතැන නිස්කලංකය, ඈ බොධිය වටා සක්මන් කළාය. එතැන පසෙක කළු ගල් ගොඩකි. අසල කිසිවෙක් නැත. ඇය අත්බෑගය තුළ ඇති බුහුටි දුරකථනය ගෙන ලේන්සුවකින් එතුවාය. ඉන්පසු එය ගලක්මත තබා හිතේ ඇති බර පහව යන තුරු තවත් ගලකින් එයට තැලුවාය. මොහොතකින් සියල්ල කුඩු වී ගිය බව දැනිණ.

සැඳෑ අඳුර ගංදිය මත වැතිරෙද්දී පාලමේ මගී තීරුවේ මැද සිටි නිරංජලා ලේන්සුවකින් ඔතන ලද කුඩා පොදියක් දුර එල්ලයක් ගෙන ගඟ මැදට විසි කළාය. එහි ගැටය ලිහී ඒ තුළ වූ සුන්බුන් අඳුරේම දිය මත පතිත වෙද්දී ඇගේ සිතට මහත් සැහැල්ලුවක් දැනිණ. එවිටම පාලමේ වීදි පහන් දැල්විණි.

 https://archives1.silumina.lk/2020/12/05/%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%92/%E0%B6%B6%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%A7%E0%B7%92-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%B8%E0%B6%BA

Nihal Ananda

unread,
Nov 4, 2023, 3:06:05 AM11/4/23
to ind...@googlegroups.com
thanks .....@nissanka 

"බුහුටු ප්‍රේමය ..."
බුහුටි ......කියන්නේ smart කියන එක නේ ! ගැලපෙන වචනයක්ද ?  නැත. .     
තේරුනේ ටිකක් කියෙව්වට පස්සෙයි.  බුහුටි දුරකථනය .....scene එකට ආවට පස්සෙයි. 
smart phone , facebook  ගැන කතාව ආවට පස්සේ , ඕනෑකමින් කියෙව්වා. 
මේ චරිතය ... ගොඩ නැංවීම හොඳයි. 
ඒ වුනාට ...... සම්ප්‍රදායික අවසානයක්. 
මේවාත් කතා තමයි, .....ඉතින්. 
සිළුමිණේ පලවන කතා නිසා , රචකයාට යම් සීමාවක් තිබිය හැකියි. 

Nissanka Rajapaksa

unread,
Nov 4, 2023, 3:53:32 PM11/4/23
to INDRAKA group
3
බැක්මන්
ව්ලැදිමීර් නබෝකොෆ්
පරිවර්තනය: අකිල (the wood sprite blog)

යටගිය දවස ජනප්‍රිය පියානෝ වාදකයෙක් සහ සංගීත රචකයෙක් ව සිටි බැක්මන්, ලෝකයාට අමතක ව, ස්විට්සර්ලන්තයේ කුඩාගමක් වූ මැරීවල් හි ශාන්ත ඇන්ජලිකා නිවසේ දී මියගිය බව නොබෝදා පුවත්පතක යන්තමින් පුවතක් විය. මේ පුවත, ඔහුට ආදරය කළ කාන්තාවක් ගැන කතාවක් මගේ මතකයට නැංවූවේ ය. එය මට පැවසුණේ සූත්‍රධර සැක් විසිනි. එය මෙලෙස යි.
පෙරෝෆ් මැතිණියට බැක්මන් මුණගැසුණේ ඔහු ගේ මරණය ට වසර දහය ක ට පමණ පෙරයි. ඔය කාලයේ ඔහු වැයූ ගැඹුරු, උමතු සංගීතයේ ස්වර්ණමය ස්පන්දය ඉටියෙන් සංරක්ෂණය වෙමින් තිබුණා සේ ම, ඒවා ලෝක ප්‍රසිද්ධ සංගීත ශාලා තුළ සජීවී ව ඇසුණේ ද විය. හරි, එක්තරා හැන්දෑවක—අයෙක් මරණයට ත් වඩා වයසට යාම ගැන බිය හඟින, විනිවිද-පෙනෙන-නීල ශරත් සැන්දෑවක—පෙරෝෆ් මැතිණිය ඇගේ මිතුරියක වෙතින් ලියුමක් ලද්දා ය. එහි කියැවුණේ, “මට ඔයාට පෙන්නන්න ඕනේ බැක්මන් ව. ඔහු සංගීත සංදර්ශනය ඉවර වෙලා මගේ ගෙදර ඉන්නවා ඇති. අනේ එන්න.”
ඈ කළුපාට, ගෙල-උරිස-පෙනෙන ඇඳුමක් ඇඳගත්තා, ඇගේ ගෙලට උරිසට විලවුන් ඉස්සා, ඇගේ අවාන සහ නීලමණී මිටැ’ති සැරයටිය ගත්තා, උස දර්පණයේ තුන්පත් ගැඹුර තුළ තම රුව දෙස වෙන්වීයාමේ බැල්මක් හෙළුවා. ඉක්බිති සිය මිතුරිය ගේ නිවසට යන තුරු ම පැවතුණු ධ්‍යානයක ගිලුණා. මම ඒ සියල්ල සවිස්තර විශදත්වයකින් මසිත මවා ගමි. තමා චාම් සහ ඉතා කෙට්ටු බැව්, සිය චර්මය රෝගාතුර පෙනුමක් පාන තරම් සුදුමැලි බැව් ඇය දැන වුන්නා ය; ඒත් එළිදරව් නොවුණු මැඩෝනා කෙනෙකු ගේ මුහුණක් ඇති මේ මුකුලිත කාන්තාව, ඇය තමා ගැන අවමානයෙන් සිතූ කාරණා—ඇගේ පැහැයේ සුදුමැලිකම සහ ඇය ට සැරයටියක් අරන් යන්න සිද්ධ කළ, යන්තමින් දැකිය හැකි නොණ්ඩිය නිසා ම ය ආකර්ෂණීය වුණේ. ඇගේ ස්වාමිපුරුෂයා, කඩිසර, තීක්ෂණ ව්‍යාපාරිකයෙක්, ඈත ගමනක් ගොස් සිටියේ ය. සැක් ඔහු පෞද්ගලික ව ඇඳුනුවේ නැත.
පෙරෝෆ් මැතිණිය කුඩා, ජම්බූල වර්ණයෙන් ආලෝක කළ විසිත්ත කාමරයට ඇතුල් වන විට, එතුළ ඇගේ මිතුරිය, ස්ථුල, කට-සද්ද ස්ත්‍රියක්, අඹතේස්ත ඔටුන්නක් පැළඳගෙන, බරැති පියවරින් අමුත්තාගෙන් අමුත්තාට පියාඹමින් සිටියා. පෙරෝෆ් මැතිණිය ගේ අවධානය වහාම පියානෝ කවරය මත වැලමිටි හොවාගෙන, කාන්තාවන් තිදෙනෙකු ගේ නඩයක් සමග අල්ලාප සල්ලාපයේ යෙදී සිටි මුඩුකළ, යන්තමින් පුයර යෙදූ මුහුණකින් යුතු, උස මිනිසෙකු වෙත ආකර්ෂණය විය. ඔහු ඇඳ සිටි දිගු කබාය දිගේ ප්‍රමාණවත්ව-පෙනෙන, ඝන සේද ඉරි දිව ගියේ, තවද ඔහු කතා කරන විට දිගටම සිය කාලවර්ණ, සිලුටු කොණ්ඩය පසුපසට ගැස්සුවේ, ඒ ගමන් ම ඔහු ගේ ඉතා ම සුදු, ශෝබන මොල්ලියකින් සමන්විත නාසයේ පියාපත් ද පිම්ඹුවේ ය. ඔහු ගේ සමස්ත හැඩරුව කෙරෙහි ම කරුණාවන්ත, කාන්තිමත්, අමනෝඥ බවක් විය.
“ධ්වනි ටික නං අන්තිමයි,” ඔහු, සිය උරිසේ ගැස්මකින් යුතුව, කියමින් සිටියේ ය, “ප්‍රේක්ෂක හැමෝටම හෙම්බිරිස්සාවක් තිබුණා. ඔයාලා දන්නවානේ ඒක කොහොමද කියලා: එක මිනිහෙකුට උගුර පාදන්න ඉඩ දෙන්න, වහාම තව කීපදෙනෙක් එකතු වෙනවා, ඕං ඉතිං වැඩේ හරි.” ඔහු, සිය හිසකේ පස්සට ගස්සමින්, මදහසක් පෑවේය. “රෑට ගමක බල්ලෝ බිරුම් හුවමාරු කරගන්නවා වගේ!”
පෙරෝෆ් මැතිණිය, ඇගේ සැරයටියට බර දෙමින් සමීප වුණා, ඇගේ හිතට ආ පළමු දේ පැවසුවා ය: “සංදර්ශනයට පස්සේ ඔබ මහන්සියෙන් නේද ඇත්තේ, බැක්මන් මහත්මයා?”
ඔහු, සතුටින් බොහොම උදම් ව, හිස නැමුවේ ය.
“ඒක පොඩි දෝෂයක්, නෝනා. නම සැක්. මම අපේ මාස්ටර්ගේ සූත්‍රධරයා විතරයි.”
කාන්තාවෝ තිදෙනා ම හිනැහුණෝ ය. පෙරෝෆ් මැතිණිය ගේ මුහුණවර වෙනස් වුණා, ඈ ද හිනැහුණා ය. ඇය බැක්මන් ගේ විස්මයාවහ වැයීම ගැන කටකතා මගින් පමණි දැන වුන්නේ, ඔහු ගේ පින්තූරයක් කෙදිනක හෝ දැක නොතිබුණා ය. ඔය මොහොතේ ගෙහිමි කත ඈ වෙත හැමුවා, ඈ වැළඳගත්තා, රහසක් බෙදාහදා ගන්නා සේ ඇගේ ඇස් පමණක් චලනය කරමින්, කාමරයේ ඈත කොණ දැක්වුවා ය, කොඳුරමින්, “අන්න ඉන්නවා එයා—බලන්න.”
අන්න එවිට යි ඈ බැක්මන් දුටුවේ. ඔහු අනිත් අමුත්තන්ට ටිකක් දුරින්, කළු, ලිහිල් කලිසම තුළ වූ සිය පාද ඈත් කරගෙන, හිටගෙන සිටියේ ය. ඔහු පත්තරයක් කියවමින් සිටියේ ය. පොඩිවුණු පිටු ඇසට ළං වන සේ අල්ලාගෙන සිටියේ, බාගෙට-සාක්ෂර මිනිසුන් කරන්නා සේ කියවන දේ තොලින් මිමිණුවේ ය. හේ මිටි විය, ඔහු ගේ පෑදෙන තට්ටය මතින් චාම් කෙස් රොදක් හරහට වැටී තිබුණි. ඔහු ඔහු ගේ ප්‍රමාණයට ටිකක් ලොකු වැඩියි පෙනුණු කැඳ දැමූ කරවළල්ලක් පහළ ට නමා ඇඳ සිටියේ ය. ඇස් පත්තරයෙන් ඈත් නොකර ම සිය ඇඟිලිවලින් සිය කලිසමේ සිපරය පරීක්ෂා කළේ, ඔහු ගේ තොල් පෙරට ත් වඩා උග්‍ර සමාධියකින් චලනය වෙන්න වුණේ ය. ඔහුට, මුහුදු ඉකිරියෙක් සිහි ගන්වන විසුළුකාර පොඩි රවුම් නිල් නිකටක් තිබුණි.
“පුදුම වෙන්නෙපා,” සැක් කීවේ ය. “මනුස්සයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අශිෂ්ටයෙක්—සාදයකට ආපු හැටියෙම මනුස්සයා මොකක්හරි අහුලාගෙන කියවන්න පටන් ගන්නවා.”
සැවොම තමා දෙස දෑස් දල්වාගෙන සිටින බැව් බැක්මන්ට වහාම හැඟුණි. ඔහු සෙමින් සිය හිස හැරෙවුවේ, පඳුරු වැනි ඇහිබැමි ඔසවමින්, අපූරු, කුලෑටි, ඔහු ගේ මුහුණ රැලි වලින් නෑවූ, හිනාවක් හිනැහුණේ ය.
ගෙහිමි කත ඔහු වෙත ගියා ය.
“මාස්ටර්,” ඈ කීවා ය, “ඔබතුමාගේ තවත් රසිකාවියක් අඳුන්වා දෙන්න මට ඉඩ දෙන්න, පෙරෝෆ් මැතිණිය.”
ඔහු ඇට නැති, තෙතබරිත අතක් දිගු කළේ ය. “බොහෝම ප්‍රීතියි, බොහෝම ප්‍රීතියි ඇත්තටම.”
ඉක්බිති නැවතත් තම පත්තරයේ ගිලුණේ ය.
පෙරෝෆ් මැතිණිය ඉවතට පා නැගුවා ය. ඇගේ කම්මුලේ රෝසපාට ගෝමර මතු වුණි. ඇගේ කළුපාට අවානේ ප්‍රමුදිත චලනය, කළු පළිඟුවෙන් දිලිසෙමින්, ඇගේ කම්මුලේ පැහැපත් කෙස් ලෙලැදුවේ ය. සැක් මට පසුව කීවේ, එදින හැන්දෑවේ ඈ, ඇගේ පාට නොකළ දෙතොල් සහ චාම් කොණ්ඩාමෝස්තරය තිබියදී ත්, සුවිශේෂී ලෙස ‘අත්තනෝමතික,’ සහ, ඔහු කී පරිදි , ඉක්මනින් කලබල වන කාන්තාවක් ලෙස බැක්මන් ගේ හිත ට කාවැදී තිබුණි.
“ඒ දෙක දෙන්නට දෙන්නා ගැලපුණා,” ඔහු හූල්ලමින් මට කීවේ ය. “බැක්මන් ගැන කියනවා නං, මිනිහා කිසිකමකට නැති කතාවක්, මොලේ කලඳක් නැති මිනිහෙක්. ඒත් එක්කම, මිනිහා බිව්වා, ඔබ දන්නවානේ. ඔවුන් මුණගැසුණු හැන්දෑවේ මට සිද්ධ වුණා මිනිහාව අයින් කරගන්න සුරුස් ගාලා. මිනිහා එකපාරටම කොඥැක් ඉල්ලුවා, මිනිහා නොබිව යුතුවයි තිබුණේ, කොහෙත්ම, මිනිහා නොබිව යුතුවයි තිබුණේ. ඇත්තටම, අපි මිනිහට කන්නලව් කළා: ‘දවස් පහකට නොබී ඉන්න, දවස් පහකට විතරක්’—මිනිහා අර සංදර්ශන පහේ වැයිය යුතුව තිබුණා, පේනවනේ. ‘ඒක ගිවිසුමක්, බැක්මන්, අමතක කරන්න එපා.’ හිතාගන්න යම් කවිකාර හාදයෙක් හාස්‍ය සඟරාවක සෙල්ලමක් දැම්මා ‘අනියත දෙපා’ සහ ‘අහිමිකරණය’ ගැන! අපි අපේ අන්තිම කකුල් වල ගියේ. ඒ වගේම මිනිහා චපලයි, අත්තනෝමතිකයි, කුණුදූවිලි පෙරාගෙන. සම්පූර්ණයෙම්ම අසාමාන්‍ය පුද්ගලයෙක්. ඒත් මිනිහගේ වාදනේ නං කොහොමද...”
සැක්, සිය තුනී වන කේශරය සොලවමින්, නිහඬ ව ඇස් කැරකුවේ ය.
සැක් සහ මම පුවත්පත් ලිපි ඇලවූ, මිනීපෙට්ටියක් තරම් බර ඇල්බමයක් පෙරළා බලන විට, අර අරුමපුදුම පුද්ගලයා ගේ නියම, ලෝපතල—ඒත් අහෝ, කෙලෙස නම් අනිත්‍ය!—ප්‍රසිද්ධිය පටන් ගන්තේ, හරියට ම ඒ කාලයේ, බැක්මන් ට පෙරෝෆ් මැතිණිය මුණගැසුණු මුල් දවස් වල බැව් මම තේරුම් ගතිමි. කවදා ද, කොහේදී ද ඔවුන් පෙම්වතුන් වුණේ, කිසිවෙක් නොදනී. එහෙත් ඇගේ මිතුරිය ගේ නිවසේ සැඳෑ සම්භාෂණයෙන් පසු ඇය බැක්මන් ගේ හැම සංදර්ශනයක ට ම, එය මොන නගරයේ තිබුණත්, සහභාගී වෙන්න පටන් ගත්තා ය. ඇය හැම විට ම, කළු, විවෘත-කර ඇඳුමක් ඇඳගෙන, සෘජු කය, මෘදු කේශකලාපය ඇතුව, පළමු පේළියේ ඉඳ ගත්තා ය. අයෙක් ඇය ට නොණ්ඩි මැඩෝනා යැයි නමක් පටබැන්දේ ය.
බැක්මන්, සතුරෙකුගෙන් හෝ නැතිනම් හුදෙක් වෙහෙසකර දෑත් වලින් පලායන්නා සේ, ශීග්‍ර ව වේදිකාව මත ඇවිදියි. ඔහු, ප්‍රේක්ෂකයින් නොතකමින්, කඩිමුඩියේ පියානෝව වෙත යයි, රවුම් ස්ටූලය උඩින් නැමී, එහි දාරුමය තැටිය, ගණිතානුකූල ව නිර්දෝෂී මට්ටමක් සොයමින්, පරිස්සමින් කරකන්න පටන් ගනියි. මෙය කරන ගමන් ම ඔහු, භාෂා තුනකින් ආසනය ට කන්නලව් කරමින්, මෘදු ව සහ උනන්දුවෙන් කූජනය කරන්න පටන් ගනියි. ඔහු සෑහෙන තරම් වෙලාවක් මෙසේ කුලප්පු වෙමින් ගතකරයි. ඉංග්‍රීසි ප්‍රේක්ෂක හද උණු වුණි, ප්‍රංශයෝ විනෝද වුණෝ, ජර්මානුවෝ පීඩා වුණෝ ය. නිවැරදි මට්ටම සොයාගත් පසු, බැක්මන්, ආසනය ට ආදරබර තට්ටුවක් දී, සිය පෞරාණික පාද වල විලුඹින් පැඩල් සොයමින්, ස්ටූලය මත හරිබරි ගැසෙයි. ඉක්බිති හේ අපිරිසිදු, විශාල ලේන්සුවක් ගෙන, ඉන් සිය අත් පරිස්සමින් පිහදාන ගමන්, දඟකාර සහ බියසුලු බැබලීමකින්, පළමු පේළියේ ආසන පරීක්ෂා කරයි. අන්තිමේ දී හේ සිය අත් සෙමින් යතුරු වෙත ගෙන එයි. නමුත්, එවිට ම, එක ඇසකට යටින් වධවිඳි මාංශපේශියක් නලියයි; ඔහු, සිය දිව නමාගෙන ස්ටූලයෙන් බැස, නැවතත්, මෘදුව කිරිකිරි ගාන තැටිය කරකන්න පටන් ගනියි.
ඇය බැක්මන් ගේ වාදනය අසා ආපසු ගෙදර ආ පළමු දවසේ, සැක් සිතයි, පෙරෝෆ් මැතිණිය, ජනෙල් කවුළුව අසල ඉඳගෙන, ගොම්මං වනතුරු හූල්ලමින්, මදහසකින් යුතුව සිටියා ය. මීට පෙර කවදාවත් ම බැක්මන් ඒතරම් ලස්සනට, ඒතරම් ආවේශයකින් නොවැයූ බව ත්, පසුව, හැම ප්‍රසංගයක් පාසා ම, ඔහු ගේ වාදනය වඩවඩා ලස්සන වූ බව ත්, වඩවඩා උමතු වූ බව ත් සැක් උදක් කියා සිටියි. බැක්මන්, අනුපමේය කෞශල්‍යයකින්, තෞර්යසංවාදයේ ස්වරයන් කැඳවා සම්මත කර ගනියි, විෂම ස්වරසංඝාතයක් විස්මකුරු ස්වාරමාධූර්යයකි’යි දැනෙන සේ ගලපයි, තවද, තම ත්‍රිත්ව ෆියූගයේ තේමාව සමග සෙල්ලම් කරමින්—පූසෙක් මීයෙකු සමග සේ—ආශාවෙන්, ලාලිත්‍යයෙන්, එය ලුහුබඳියි: ඔහු එය ට සිය ග්‍රහණයෙන් මිදෙන්න දුන්නැ’යි අඟවයි, ඉක්බිති, හනික, ප්‍රයෝගකාර ප්‍රමෝදයක ඇවිලීමකින්, යතුරු උඩින් නැමෙමින්, ජයග්‍රාහී ඩැහැගැනීමකින්, ඔහු එය අල්ලා ගනියි. ඉන්පසු, එම නගරයේ තමා ට නියමිත කටයුත්ත අහවර වූ විට, දවස් කීපය ක ට අතුරුදන් වී අඩියක් ගහන්න යයි.
නගරබද මීදුමක් මැද විසකුරු ව දැවෙන අන්ධකාර, අස්ථිර සුරාසැල් හි තැබෑරුම්-ගුල්ලෝ, පෑදුණු තට්ටයක් වටේ ගලන අපිළිවෙල කොණ්ඩයක් සහ තුවාල මෙන් රෝසපාට ඇස් ඇති, කුඩා, මහත-දෙහෙත මිනිසෙක් දකිති, ඔහු හැම විට ම පහසුවෙන්-යා-නොහැකි මුල්ලක් තෝරා ගනියි. නමුත් ඔහු ට පෙත්තං කරන්න යෙදුණු ඕනෑම අයෙකු වෙනුවෙන් මත්පැන් වීදුරුවක් මිලදී ගනියි. වයසක පොඩි පියානෝ සුසර කරන්නෙක්, දිගු කාලයක් තිස්සේ දිරා යමින් සිටියේ, ඔහු සමග කිහිප විටක් ම අඩි ගැසුවේ, ඔහු ඒ පාරේ ම ගිය බව තීරණය කළේ ය, මන්ද, බැක්මන්, බීමතින් වුන් විට, මේසය මත ඇඟිලිවලින් බෙර ගැසුවේ, සියුම්, උස් හඬකින්, බොහොම නිවැරදි “ස” ස්වරයක් ගැයුවේ ය. විටෙක උස කම්මුල් ඇටයක් ඇති කාර්යශූර ගණිකාවක් ඔහුත් ඇදගෙන ඇගේ නවාතැන ට ගියා ය. විටෙක ඔහු තැබෑරුම් වාදකයා ගේ අතින් වයලීනය උදුරා ගත්තේ, ඒ මත අඩි හැප්පුවේ, ඊට දඬුවම් ලෙස හොඳට ම තඩිබානු ලැබුවේ ය. ඔහු සූදු අන්තුවන්, සේලරුවන්, අණ්ඩවාතයෙන් අකර්මන්‍ය වූ මලල ක්‍රීඩකයින් සමග මිශ්‍ර වූවේ ය, එමෙන් ම ඒ අතර වැඩි සද්දයක් නැති, ආචාරශීලී සොර මුලක් ද විය.
රෑ ගණන් සැක් සහ පෙරෝෆ් මැතිණිය බැක්මන් සොයති. සැක් ඔහු ව හෙව්වේ සංදර්ශනයක් සඳහා ඔහු ව පිළියෙල කරගැනීම ට අවශ්‍ය වූ විට පමණක් බව හැබෑවකි. විටෙක ඔවුහු ඔහු සොයාගත්තෝ ය. තවත් විටෙක, ඉදිමුණු ඇස් ඇති ව, කුණු ගාගෙන, කරවාටිය නැති ව, ඔහු ස්වකැමැත්තෙන් ම පෙරෝෆ් මැතිණිය ගේ නිවසේ ප්‍රාදුර්භූත වූවේ ය; මිහිරි, නිස්කලංක කාන්තාව ඔහු නිදි කරවා, දවස් දෙකතුනක් ඉක්ම ගිය පසුයි, බැක්මන් හමු වී ඇති බව සැක් ට දුරකතනයෙන් අමතා කියන්නේ.
ඔහු අද්භූත කුහුල්බවක සහ ඇට්ටර කොල්ලෙකු ගේ දඟකාරබවක  සංයෝජනයක් විය. ඔහු පෙරෝෆ් මැතිණිය ට කතා කළේ ම නැති තරම් ය. ඇය ඔහු ට තරවටු කළ විට හෝ ඔහු ගේ අතින් අල්ලා ගැනීම ට හැදූ විට, ඔහු සිය අත ආපහු උදුරාගත්තේ, හුදු ස්පර්ශය පවා ඔහු ට දරාගත නොහැකි වේදනාවක් දුන්නා සේ, කර්කශ හඬින් අඬමින් ඇගේ ඇඟිලි වලට පහර දෙයි, ඉක්බිති පොරෝනය යට ට රිංගාගෙන බොහෝ වෙලාවක් ඉකිගසයි. සැක් පැමිණ දැන් ලන්ඩනය ට හෝ රෝමය ට යන්න වෙලාව’යි කියා බැක්මන් ව කැඳවාගෙන යයි.
ඔවුන් ගේ පුදුමාකාර සම්බන්ධය අවුරුදු තුනක් පැවතුණි. යම්තරමකින් නැවත පණගැන්වූ බැක්මන් ප්‍රේක්ෂකයින් ට පිළිගැන්වූ විට, පෙරෝෆ් මැතිණිය අවිකල්පයෙන් ම පළමු පේළියේ ඉඳගෙන සිටියි. දීර්ඝ සංචාර වලදී ඔවුහු යාබද කාමර වල නවතිති. මේ කාලය තුළ දී පෙරෝෆ් මැතිණිය කිහිප වරක් ඇගේ සැමියා දුටුවා ය. ඔහු, කිවමනා නොවේ, අන් සැවොම සේ ම, ඇගේ ප්‍රමුදිත හා භක්තිමත් ආශාව ගැන දැන වුන්ණේ ය, නමුත් ඊට අත නොපෙව්වේ, තමා ගේ ජීවිතය ජීවත් වුණේ ය.
“බැක්මන් ඇගේ ජීවිතේ අපායක් කළා,” සැක් දිගින් දිගට කීවේ ය. “තේරුම්ගන්න බෑ ඈට ඔහුට ආදරේ කරන්න පුළුවන් වුණේ කොහොමද කියලා. ගෑනු හදවතේ අබිරහස! එකපාරක්, ඔවුන් දෙදෙනා වෙන ගෙදරක එකට ඉන්දැද්දී, මම මගේ ඇස් දෙකෙම්ම දැක්කා, මාස්ටර් එකපාරටම මිනිහගේ දත් ඈ වෙත විලිස්සන්න පටන් ගත්තා, හරියට වඳුරෙක් වගේ, ඔයා දන්නවාද ඇයි කියලා? ඈට ඔහුගේ කරපටිය කෙලින් කරන්න ඕන වුණ නිසා. ඒත් ඒ දවස් වල මිනිහගේ වාදනේ ප්‍රතිභාවක් තිබුණා. මිනිහා මන්ද්‍ර “ම” සහ තවත් සංකීර්ණ ෆියූග කීපයකින් කරපු සංධ්වනිය ඔය කාලෙට අයිතියි. කවුරුවත් දැක්කේ නෑ මිනිහා ඒවා ලියනවා. වඩාත්ම සිත්ගන්නේ ඊනියා ස්වර්ණමය ෆියූග් එක. ඔබ අහලා තියෙනවාද ඒක? ඒකෙ තේමාත්මක සංවර්ධනය සම්පූර්ණයෙම්ම අලුත්. ඒත් මම ඔබට කිය කියා හිටියේ මිනිහගේ හදිසි කල්පනායි, මිනිහගේ වැඩිවෙමින් තිබුණු පිස්සුවයි ගැන. 
හරි, මෙන්න මෙහෙමයි ඒක වුණේ. අවුරුදු තුනක් ගෙවුණා, ඊට පස්සේ, එක රෑක මිනිහා වාදනය කරමින් හිටියා මියුනික් වල...”
සැක් සිය කතාවේ අවසානය ට ළඟා වෙත් ම, ඔහු, වඩා ශෝකීව සහ වඩා සිත්ගන්නා ලෙස සිය දෑස් පටු කළේ ය.
පෙනෙන ලෙස ට, මියුනික් වෙත පැමිණි රාත්‍රියේ, බැක්මන්, ඔහු පෙරෝෆ් මැතිණිය සමග නැවතී ඉන්න පුරුදු ව සිටි හෝටලයෙන් පැනගොස් තිබුණි. සංදර්ශනය ට තව දින තුනක් පමණයි ඉතුරු ව තිබුණේ. එහෙයින් සැක් ගිනි පත්තු වී සිටියේ ය. බැක්මන් ව සොයාගත නොහැකි විය. එය ශරත් සමයේ, මහවැසි ඇදහැළුණු පසුභාගය වී, පෙරෝෆ් මැතිණිය හෙම්බිරිස්සාව වැලඳී ඇඳට වුණා ය. සැක්, රහස් පරීක්ෂකයින් දෙන්නෙකු ත් සමග, දිගට ම තැබෑරුම් පරීක්ෂා කරන්න වුණේ ය.
සංදර්ශනය දවසේ පොලිසිය, බැක්මන් හමුවී ඇති බව දුරකථන ඇමතුමකින් දැනුම් දුන්නේ ය. ඔවුහු ඔහු රාත්‍රියේ පාරෙන් ඇහිඳගෙන තිබුණෝ, ඔහු දුම්රියපොළේ හොඳ නින්දක් නිදාගෙන ඉඳ තිබුණි. වදනක් නොදොඩා සැක් බැක්මන් ව පොලිස්ථානයේ සිට රංගශාලාව ට පදවාගෙන ගියේ, භාන්ඩයක් සේ ඔහු ව සිය සහායකයින් ට පැවරුවේ, බැක්මන් ගේ කබාය ගන්න හෝටලය ට ගියේ ය. ඔහු, දොර තුළින්, සිදුවූවේ කුමක්දැ’යි පෙරෝෆ් මැතිණිය ට කීවේ ය. ඉක්බිති හේ ආපසු රංගශාලාව ට ආවේ ය.
බැක්මන්, ඔහුගේ කළු ලොම් තොප්පිය ඇහිබැම තෙක් පහළ ට ඇද ඇඳගෙන, දුක්මුසු ව එක ඇඟිල්ලකින් මේසය ට තට්ටු කරමින්, නේපත්‍යාගාරය තුළ ඉඳගෙන සිටියේ ය. ඔහු වටේ ට ම මිනිස්සු කසුකුසු ගෑවෝය, කුලප්පු වුණෝ ය. හෝරාව ක ට ඉක්බිති සෙනඟ විශාල ශාලාව තුළ අසුන්ගන්න පටන් ගත්තෝ ය. ශ්වේත වර්ණ, දීප්තිමත් ව ආලෝක කළ වේදිකාව මූර්තිමය ඕර්ගල නළ වලින් දෙපසින් ම විභූෂිත ව, දිදුලන කළු පියානෝව සිය තටුව උඩ ට විහිදාගෙන, එහි නිහතමානී ස්ටූල බිම්මල—සැවොම, උදාර අලසකමකින්, වැඩිවෙලාවක් යන්න පෙර පියානෝ හඬක චණ්ඩමාරුතයකින්, වේදිකාව සහ අතිවිශාල ශාලාව, එතුළ සෙලවුණු කාන්තා උරහිස් සහ දිලිසුණු පිරිමි තට්ට ඉස්මුදුන්, පුරවනු ඇති මෘදු අත් ඇති මිනිසෙකු බලාපොරොත්තුවෙන් බලාසිටියේ ය.
දැන් බැක්මන් වේදිකාව මත හැල්මේ පැමිණ සිටියි. සුසංහිත කූටයක් සේ නැගුණු, විසිරුණු, මියැදෙන අත්පොලසන් ව කඩා වැටුණු පිළිගැනීමේ ගිගුරුම ට අවධානය නොදක්වමින් ඔහු, කෑදරව කූජනය කරමින්, ස්ටූලයේ තැටිය කරකවන්න පටන් ගත්තේ, ඉක්බිති එය ට තට්ටුවක් දමා, පියානෝව ළඟ ඉඳ ගත්තේ ය. තම අත් පිහදාමින්, කුලෑටි හිනාවක් ඇතුව පළමු පේළිය වෙත බැල්මක් හෙළුවේ ය. හිටිගමන් ඔහු ගේ හිනාව අතුරුදන් වුණා, බැක්මන් විලිස්සුවේ ය. ලේන්සුව බිම වැටුණි. ඔහු ගේ සාවධාන බැල්ම ආයෙම මුහුණු දිගේ ලිස්සා ගියේ—මැද තිබුණු හිස් ආසනය මත, එක විදිහකට, ඇනහිටුණි. බැක්මන් පියානෝ පියන වේගයෙන් වැසුවේ ය, නැගිට්ටේ ය, වේදිකාවේ අද්දර ට ම ඇවිද්දේ ය, ඉක්බිති, සිය ඇස් කරකමින්, සිය නැමුණු අත් බැලේ නළඟනක් සේ ඔසවමින්, විසුළු නැටුම් පියවර දෙකතුනක් ඉදිරිපත් කළේ ය. ප්‍රේක්ෂකයින් ගල් ගැසුණි. පිටිපස ආසන දෙසින් සිනහවක් පිපුරුණි. බැක්මන් නැවතුණේ ය, කිසිවෙකු ට නෑසුණු යමක් මතුළේ ය, ඉක්බිති මුළු ශාලාව ට ම අසභ්‍ය හස්ත මුද්‍රාවක් පෙන්නුවේ ය.
“මේ ඔක්කොම වුණේ එක පාරටම,” සැක් ගේ ආඛ්‍යානය කියැවුණි, “ඉතිං මට වෙලාවට එතැනට යාගන්න බැරි වුනා. මට ඔහු හම්බුනා අර ෆිග් එකට—ෆියූග් එක වෙනුවට— පස්සේ ඔහු වේදිකාවෙන් නික්මෙනකොට. ‘කොහෙද බැක්මන් යන්නේ?’ මිනිහා පරුෂ වචනයක් කියලා නේපත්‍යශාලාවට අතුරුදන් වුණා.”
ඉන්පසු සැක්, උදහසේ සහ විනෝදයේ කුණාටුවකට මුහුණ දෙමින්, වේදිකාවට ගොඩ වුණේ ය. හේ අතක් එසැවුවේ, නිශ්ශබ්දතාව ලබාගන්න සමත් වුණේ, සංදර්ශනය පැවැත්වෙනු ඇති බවට එකහෙළා පොරොන්දු වුණේ ය. නේපත්‍යශාලාවට පැමිණි ඔහුට, කිසිත් නොවුනා සේ, මුද්‍රණය කළ වැඩසටහන තොල් මතුරමින් කියවන බැක්මන් හමුවිය.
සැක් එහි සිටි පිරිස දෙස, අරුත්බර ව ඇහිබැමක් ඔසවමින් බැල්මක් හෙළුවේ, පෙරෝෆ් මැතිණිය අමතන්න දුරකථනය වෙත කඩිමුඩියේ ගියේ ය. බොහෝ වෙලාවක් යනතුරු ඔහුට උත්තරයක් ගත නොහැකි විය; අන්තිමේ දී යමක් ටීක් ගෑවේ, ඔහු ට ඇගේ බෙලහීන හඬ ඇසුණි.
“මේ මොහොතේම මෙහෙ එන්න,” සැක්, සිය අතේ පැත්තකින් දුරකථන නාමාවලි පොත ට ගසමින්, දෙඩෙව්වේ ය. “බැක්මන් ඔබ නැතුව වාදනය කරන් නෑ. මේක මහාම ලෝකාපවාදයක්! සෙනඟ පටන් අරන්—මොකද්ද?—මොකද්ද කිව්වේ?—ඔව්, ඔව්, මං ඔබට දිගින් දිගටම කියන්නේ මනුස්සයා බෑ කියනවා. හෙලෝ? ඕං ඉඳකින්! මාව විසන්ධි කරලා...”
පෙරෝෆ් මැතිණිය තවත් අසාධ්‍යව සිටියා ය. එදින ඈ බැලීමට දෙවරක් පැමිණි දොස්තර, වීදුරු නලය තුළ රතු ඉනිමග දිගේ උඩට ම නැංග රසදිය දෙස ත්‍රාසයෙන් බලා තිබුණි. ඇමතුම විසන්ධි කරන ගමන්—දුරකථනය ඇඳ අසල තිබුණි—සමහරවිට ඇය සතුටින් මදහසක් පෑවා විය හැක. ඇය, තම පාද මත අස්ථිරව සැලෙමින්, ඇඳුම් අඳින්න පටන් ගත්තා ය. දරාගත නොහැකි වේදනාවක් ඇගේ පපුවට අනිමින් තිබුණි. ඒ නමුත් උණ රෝගයේ මීදුම සහ ගුමුගුමුව තුළින් සතුට ඈට අඬගැසුවේ ය. යම් හේතුවකට මම සිත්හි මවාගමි—ඇය ඇගේ දිග මේස් උඩට අදින විට එහි සේද ඇගේ සීතල පාද වල නියපොතු වල දිගින් දිගට ම පැටලුණි. ඇය හැකි තරම් හොඳට කොණ්ඩය පිළියෙළ කරගත්තා, දුඹුරු ලොම් කබායෙන් සිය සිරුර දවටාගත්තා, සැරයටිය අතේ, පිටතට පියමැන්නා ය. එහි දී කුලී රියක් කැඳවන්න’යි ඇය දොරටුපාලයා ට කීවා ය. කාලවර්ණ පදික වේදිකාව දිස්න දුන්නේ ය. කාරයේ දොරටුවේ හැඬලය අයිස් මෙන් සීතල මෙන්ම තෙතබරි ද විය. ගමන අතරතුර දිගට ම අර අපැහැදිලි, ප්‍රීතිමත් මදහස ඇගේ දෙතොලේ තියෙන්න ඇත. රථයේ හඬ සහ රෝද වල සරබර හඬ ඇගේ කම්මුලේ උණුහුම් ගුමුගුමුව සමග මුහු විය. රංගන ශාලාව ට ළඟා වූ විට මහා සෙනඟක් පාරට පෙරළෙන ගමන් කෝපගත් කුඩ දිගහරිනු ඇය දුටුවා ය. මහා ජන ගඟ තුළ එහා මෙහා විසිවුණු ඈ වැටෙන්න ම වාගේ ගියා, නමුත් ඒ අතරින් රිංගා යන්න සමත් වූවා ය. නේපත්‍යශාලාව තුළ, සැක්, ඔහු ගේ වම් කම්මුලේ එල්ලී, දැන් දකුණු කම්මුලේ එල්ලී, එහා මෙහා ඇවිදිමින් සිටියේ ය.
“මම ප්‍රකෝප වෙලා හිටියේ!” ඔහු මට කීවේ ය. “මම ටෙලිෆෝන් එකත් එක්ක ඔට්ටු වෙන අතරේ මාස්ටර් පැනලා ගියා. මිනිහා කිව්වා වැසිකිලියට යනවා කියලා, ඒ කරලා ලිස්සලා ගියා. පෙරෝෆ් නෝනා ආවම මම ඇය වෙත කඩා පැන්නා—ඇයි ඇය රංගශාලාවේ ඉඳගෙන නොහිටියේ? ඔබට තේරෙනවා නේ, මම ඇගේ රෝගී තත්ත්වය ගැන හිතුවෙම නෑ. ඇය මගෙන් ඇහුවා ‘එහෙනං ඔහු දැන් හෝටලේ ඇති? එහෙනං අපි දෙන්නා එනගමන් එකිනෙකා පහුකරලා ගියා?’ මම හොඳටම කුපිත වෙලා හිටියේ, කෑගහමින්, ‘මොන ඉලව් හෝටල්ද—මිනිහා ඇති කොහෙහරි බාර් එකක! බාර් එකක! බාර් එකක!’ පස්සේ මම දමලා ගහලා දුවලා ගියා. ටිකට් විකුණන හාදයාව බේරගන්න.”
පෙරෝෆ් මැතිණිය, වෙව්ලමින් සහ හිනාවෙමින්, බැක්මන් හොයන්න ගියා ය. ඇය ආසන්න වශයෙන් ඔහු කොහිදැයි දැන සිටියා, අන්න එහෙටයි, අර අඳුරු, බියදනවන පෙදෙසටයි, මවිත වූ රියැදුරෙක් ඈ ගෙන ගියේ. ඇය ඒ පාරට, පෙර දින, සැක්ට අනුව, බැක්මන්ව සොයාගෙන තිබූ පාරට ගිය විට, ඈ කුලී රිය පිටත් කළා, සිය සැරයටිය මත බර වෙමින්, කළුපාට වැස්සක ඇද වුණු ධාරා යටින්, අසම පදිකවේදිකාව මත ඇවිදින්න වුණා ය. ඇය හැම බාර් එකක ට ම ඇතුල් වුණා ය. කර්කශ සංගීත පිපිරුම් ඈ බිහිරි කළා, පිරිමි ගරුසරු නැතුව ඈ දෙස බැලුවෝ ය. ඇය දුම් ගඳ ඇති, කැරකෙන, වෛවාරන්න තැබෑරුම් අවට බැල්මක් හෙලා කසතලන රාත්‍රිය වෙත ආපසු යනු ඇත. තමා නොකඩවා එකම තැබෑරුම ට ඇතුල් වන බව ඈ ට ඉක්මනින් ම පෙනෙන්න වුණා, බලවත් වේදනා දෙන දුර්වලබවක් ඇගේ උරිස මත පතිත විය. ඇය, නොණ්ඩි ගසමින්, නෑසෙන තරම් කෙඳිරිලි පිට කරමින්, ඇගේ සැරයටියේ නීලමණී මිට සීතල අතකින් අල්ලාගෙන ඇවිද්දා ය. බොහෝ වෙලාවක් ඈ දෙස ඇහැ ගහගෙන සිටි පොලිස් නිලධාරියෙක් මන්දගාමී, වෘත්තීයමය පියවරින් ඈ වෙත පැමිණ ඇගේ ලිපිනය විමසුවේ, ඉක්බිති, දැඩිව සහ ආචාරසම්පන්නව ඈ රාත්‍රී සේවා අශ්වකරත්තයක් වෙත කැඳවාගෙන ගියේ ය. චිරිචිරි ගාන, අපුල ගඳැ’ති අශ්වකරත්තය තුළ ඈ සිහි විසඥ වුණා, ඇය හෝටලය වෙත පැමිණි විට, කරත්තයේ දොර විවරව තිබුණා, ජලරෝධ රෙදි කබායක් තුළ සිටි රියැදුරා සිය වේවැලේ මිටින් ඇගේ උරහිසට අනිමින් සිටියේ ය. හෝටලයේ උණුසුම් බරාදයට ඇතුල් වූ පසු ඈ සියල්ල කෙරේ පරිපූර්ණ උදාසීන හැඟීමකින් මැඩී සිටියා ය. ඇය දොර තල්ලු කර ඇර ඇතුළ ට ගියා ය. බැක්මන්, රාත්‍රී ඇඳුම ඇඳගෙන, දිග පොරෝනය ඔහු ගේ උරිස උඩින් ඇදගෙන, ඇගේ ඇඳ මත ඉඳගෙන සිටියේ ය. ඔහු ඇඟිලි දෙකකින් කිරිගරුඬ මේසය මත බෙර ගහමින්, සහ ඒ ගමන් අනිත් අතින් මැකිය නොහැකි පැන්සලකින් සංගීත කොළයක් මත තිත් අඳිමින් සිටියේ ය. හේ කොතරම් තදින් එහි නිමග්න ව සිටියේ ද යත් දොර ඇරෙනවා නොදුටුවේ ය. ඇය මෘදු, වැළපුමක්-සමාන “ආහ්” හඬක් කෙඳිරුවා ය. බැක්මන් තිගැස්සුණි. පොරෝනය ඔහු ගේ උරහිසෙන් ලිස්සා යන්න පටන් ගත්තේ ය.
පෙරෝෆ් මැතිණිය ගේ ජීවිතයේ එක ම ප්‍රීතිමත් රාත්‍රිය මෙය වී යැයි මම සිතමි. මේ දෙදෙනා, වික්ෂිප්ත සංගීතඥයා සහ මියැදෙන කාන්තාව, ඒ රාත්‍රියේ දී ශ්‍රේෂ්ඨතම කවියන් සිහිනෙනුත් නොසිතූ වචන සොයාගත්තැ’යි මම සිතමි. කුපිත වූ සැක් පසුදා පාන්දර හෝටලය ට එන විට, ප්‍රීතියෙන් කුල්මත් බැක්මන්, දිග පොරෝනාව ට යටින් පුළුල් ඇඳේ සිහි විසඥව වැතිර සිටින කාන්තාව සිතින් විමසමින්, නිශ්ශබ්ද සිනාවක් ඇතිව සිටියේ ය. බැක්මන් තම ප්‍රියාව ගේ දැවෙන මුහුණ දෙස බලාගෙන, ඇගේ අතරින් පතර සිදුවන හුස්ම වැටීම අසා සිටින ගමන් සිතුවේ කුමක්දැ’යි කිසිවෙකුට ත් දැනගත හැකි නොවී; සමහරවිට ඔහු ඔහුගේම පන්නයට ඇගේ සිරුරේ කැළඹීම, මාරාන්තික රෝගය ක චංචල බව සහ ගින්න—එහි අව ම අදහස වත් ඔහු ගේ මනැසට ඇතුළු වුණේ නොවේ—අර්ථදැක්වුවා විය හැක. සැක් දොස්තර කැඳවූවේ ය. බැක්මන් මුලින් ම ඔවුන් දෙස, බයාදු මදහසක් ඇතිව, අවිශ්වාසයෙන් බැලුවේ ය; ඉක්බිති හේ දොස්තර ගේ උරහිසෙන් වැරෙන් අල්ලාගත්තේ, ආපසු දිව්වේ, අතින් නළල ට ගසාගත්තේ, එහා ට මෙහා ට පනිමින් දත්මිටි කන්න පටන් ගත්තේ ය. ඇය පියවි සිහිය නොලබා ම, එදින ම මිය ගියා ය. ප්‍රීතිමත් බවේ අභිනය ඇගේ මුවින් ඉවත් නොවුණි. සැක්, මේසය මත තිබී, පොඩිකළ සංගීත කොළයක් සොයාගත්තේ, නමුත් එහි විසිරුණු ජම්බූල වර්ණ සංගීත තිත් කියවා තේරුම් ගන්න කිසිවෙකුටත් නොහැකි විය.

“මම මිනිහව වහාම ඉවත් කරගත්තා,” සැක් ඇදුණේ ය. “මට බය හිතුනා ඇගේ සැමියා ආවාම මොනවා වෙයිද කියලා, ඔබට තේරෙනවා නේ. අසරණ බැක්මන් පරඬැලක් වගේ දුර්වල වෙලා, මිනිහගේ ඇඟිලි වලින් කන් දෙකේ ඇබ ගහගනිමින් හිටියේ. මිනිහා කෑගැහුවා කවුරුහරි මිනිහව කිතිකැවුවා වගේ, “නවත්තපං ඒ සද්ද! ඇති, ඇති සංගීතෙ!” මං දන්නෑ මිනිහට එච්චර කම්පනයක් දුන්නේ මොකද්ද කියලා: ඔබෙයි මගෙයි කන්දෙක අතරේ, ඔහු කවදාවත්ම අර අවාසනාවන්ත කාන්තාවට ආදරේ කළේ නෑ. ඒ කොයිහැටි වෙතත්, ඈ තමයි ඔහුගේ විනාසෙ. අවමගුලට පස්සේ බැක්මන් සලකුණක් නොතියාම අතුරුදන් වුණා. ඔබට තාමත් මිනිහගේ නම හොයාගන්න පුළුවන් පියානෝ-වාදක ආයතන දැන්වීම් වල, ඒත්, සමස්ථයක් විදිහට කිව්වොත්, මිනිහව අමතක වෙලා ගිහින්. අවුරුදු හයකට පස්සෙයි දෛවය අපව ආයේ මුණගැස්සුවේ. මොහොතකට විතරයි. මම ස්විට්සර්ලන්තයේ පුංචි දුම්රියපොළක කෝච්චිය එනකං බලා හිටියා. ඒක තේජාන්විත හැන්දෑවක්, මට මතකයි. මම තනියම නෙවේ හිටියේ. ඔව්, කාන්තාවක්—ඒත් ඒක වෙනම ඔපෙරාවක්. ඔන්න එතකොට, මොනවද දන්නේ, මට පේනවා ලිහිල් කළු ඇඳුමකුයි තොප්පියකුයි ඇඳපු කොට මනුස්සයෙක් වටේ පොඩි සෙනඟක් එකතු වෙලා ඉන්නවා. මිනිහා පාලනය කරන්න බැරි විදිහට ඉකිගහගහ සංගීත පෙට්ටියක් ඇතුළට කාසියක් ඔබමින් හිටියේ. මිනිහා කාසිය ඇතුළට දානවා, හීනි ස්වරතාලය අහනවා, ඉකිගහනවා. එතකොට මොකද්ද එකක් කැඩුනා. කාසිය හිර වුනා. මිනිහා පෙට්ටිය හොල්ලන්න පටන් ගත්තා, තව සද්දෙන් වැලපුනා, වැඩේ අතෑරියා, ගියා යන්න. මම එකපාරටම මිනිහව අඳුනාගත්තා, ඒත්, ඔබට තේරෙනවා නේ, මම තනියම නෙවේ හිටියේ, මම කාන්තාවක් එක්ක හිටියේ, වටපිට මිනිස්සුත් හිටියා කට ඇරගෙන වගේ බලාගෙන. මම ගිහින් මෙහෙම කියන එක නුහුරු වෙන්න තිබුනා: ආ කොහොමද, බැක්මන්?”

Nissanka Rajapaksa

unread,
Nov 6, 2023, 12:28:56 AM11/6/23
to INDRAKA group

4

"මඟුල් තොවිලය" 
වයි.ජී.විජයසිංහ

      යාන්තමින් බිත්ති බැද උස්සන ලද ගරා වැටුණු ගෙයි මකුළු දැල් අවුරුදු ගණනාවකින් කඩා නොමැත. මිදුලට වැටී ඇති කෝළ , සුළඟින් අතු ගා ගෙන යනු ලැබෙයි. මල් ගස්වල මල් හටගෙන නොමැත. වල් බිහිවී ඇත. "කලු නැන්දා" යන පටබැදී නමින් හඳුන්වනු ලැබූ කාන්තාවක් සහ ඇගේ දියණිය වූ රණ්මිණි නිවසෙහි වෙසෙයි. කලු නැන්දාගේ ස්වාමියා වසර ගණනාවක සිට ආගිය අතක් නොමැත.

       වෙනදාට උදෑසන 10 පහුවනතුරුම නිදි කිරණ රණ්මිණි මෙදින ක්‍රියා කලේ කඩියෙකු මෙනි. මාස ගණනාවකින් කොස්සක් අල්ලා නොතිබුණු රණ්මිණි මාස ගණනාවක කුණු දූවිලි ඉස්සරහ පඩියට ගොඩ ගසන ලදී. මෙවැනි කාර්යක රණ්මිණි නිරත වන්නේ ඇය බැලීමට නිවසට මනාලයෙකු එන දිනයක පමණක් බව කලු නැන්දා සේම ගමේ අනෙක් උදවියත් දන්නා නොරහසකි.

  " අම්මේ මං නාගන්න යනවා.."

  " ඉක්මනින් නාගෙන වරෙන්. වෙනදා වගේ දවසේම ළිඳ ළඟ ඉන්නේ නැතුව.."

 කලු නැන්දාගේ දෝෂාරෝපණය මැද රණ්මිණි ළිඳට පියමන් කරන්නට විය. නාන්න ගිය රණ්මිණිගෙ සිත දෙගිඩියාවෙනි.

 " අද එන කෙනාවත් පෙනුමැති පෝසතෙක් වුණොත් හොඳා.."

   රණ්මිණිගෙ කල වයස ඉක්මවා ගොස් දැන් 34 වෙනි වියට පා තැබීමට නියමිත ය. නමුදු ඇය සොයනු ලබන්නේ සල්ලිකාර කොළඹ මහතෙකි. ඇය සොයනු ලබන පිරිමියකු අහල ගම් හතකවත් නොමැත.

      සියල්ල ලකලෑස්ති කර කලු නැන්දා සහ රණ්මිණි ඉස්තෝප්පුවේ පුටුවකට වී මනාලයා එනතුරු ඇඟිලි ගැන්නෝ ය. රණ්මිණි සිංහල ක්‍රමයට ඔසරියකින් සැරසී සිටි අතර මුහුණේ පවුඩර් ඕනෑවටත් වඩා උලා සිටියා ය. කලු නැන්දා කතා කල මනාලයා පැමිණියේ  දුඹුරු පැහැති කුලී  මෝටර් රථයකිනි. ඒ එහා ගමෙ හාදයෙකි.

" පුතා  ගෙට ගොඩ වෙලා වාඩි වෙන්න. අහ්: මං හිතුවෙ අම්මාත් එක්කන් එයි කියලා.. මම ඉක්මනට කහට උගුරක් වක් කරන් එන්නම්. රණ්මිණි උඹ එතකල් මෙ පුතා එක්ක ටිකක් කතා කරහන්.."

 රණ්මිණි පුටුවෙන් ඉද ගත්තේ " මෙයා නම් හරියන පාටයි " කියන මානසිකත්වයකින් යුක්තව ය. මනාලයා කතා කිරීමට පෙරාතුව රණ්මිණි තම කටහඬ අවදි කළාය.

" ඔයා මොනවාද කරන්නේ. ගෙදර තව කවුද ඉන්නේ.. කොළඹ පදිංචියට යන්න කැමති නැද්ද..."

රණ්මිණිගෙ හිතේ තිබුණු සේරම දැ එකවර කටට ගලා ආවා ය.

" මම නම් දැනට මුකුත් කරන්නේ නැ. තාත්තාගේ කුලී වැඩවලට උදව් වෙනවා. ගෙදර ඉන්නේ අම්මයි නංගී මමයි තාත්තයි විතරයි. අපි ඉපදුණු දවසේ ඉඳන් මේ ගම්වල වැටුණු අය නොවැ. මේ ගම් දාලා කොහෙ යන්නද? කොළඹ යන්න අදහසක් තුන් හිතකවත් නැ.."

"එතකොට මේ කාර් එක..!!"

"අහ්:මේක මෙ මම කුලියට අරගෙන ආපු එකක්.. මගේ බයිසිකලේ රෝදේ හුලං බැහැලා.."

ඔහුගේ පිළිතුරත් සමග රණ්මිණිගෙ සියලු බලාපොරොත්තු බිඳ වැටුණි. මනාලයා ගෙදරින් පිට වීමටත් පෙර රණ්මිණි ඔහුට අකමැත්ත ප්‍රකාශ කලේ රහසේ ය.

නැන්දාගේ ද සියලු බලාපොරොත්තු සුන් විය.

" දැන් උඹට මනාලයන් කී දෙනෙක් බැලුවද. එකෙකුටවත් කැමති වුණාද.. උඹ හොයන එවුන් ලොවෙත් නැ."

කලු නැන්දා ගෙට ගියේ කෝපය හිතේ තද කරගෙනය. "මේකිට මොන යකා වැහිල ද?"....." ඒ මඟුල වෙන්නෙත් නැ..."

   එදා හවස් වනතුරු කල්පනා කළ කලු නැන්දා කඩපිලට ගියේ වේදනාව හිතේ තද කරගෙන  රෑට උයන්නට බඩු රැගෙන ඒම සදහා ය.

කඩපොළේ දී ඇයට එසලින් නංගි හමුවිය.

" මොකද බං නැන්දෙ ප්‍රශ්නයක් වගේ. අර වැඩේ හරි ගියේ නැද්ද?"

" අනේ ඔව් බං නංගියේ ඒ මඟුල හරි ගියෙත් නැ. කොහෙද අපේ රණ්මිණියා කිසි එකෙකුට කැමති වෙන් නැනේ.. කොහෙන් හරි ඇදක් කියනව"

"මං කියන්න ද නැන්දෙ අපි ඕකට සෙත් ශාන්තියක් කරල බලමුද?"

"සෙත් ශාන්තියක්?"

"ඕව කලා කියලා මඟුල් හරි යනවද නංගියේ"

"නැ නැ අපි කරල බලමුකො. එතකොට නැන්දාගේ හිතටත් ටිකක් සැනසීමයි. රණ්මිණි කෙල්ලගේ අපලයක් තිබුණොත් ඒකත් නැති වෙයි නොවැ"

"හා එහෙනං කරන දෙයක් ඉක්මන් කරලා කරමු. මගේ ඇස් දෙක පියවෙන්න කලින් මෙ  කෙල්ලට හොඳ කසාදයක් කරල දෙන්න ඕන නංගියේ"

"හරි නැන්දෙ මෙ එන කෙම්මුර දවසට වැඩේ කරගන්න බඩු ටික ලැස්ති කර ගන්නකො. මං අපේ ගුරුන්නාන්සෙ මාමටත් මෙ ගැන කියන්නම්"

   කලු නැන්දා ගෙදර ආවේ මෙ කටයුත්ත හිතේ තබාගෙන ය. රණ්මිණිගෙ ද වැඩි අකමැත්තක් නොවුණු හෙයින් එළඹෙන සෙනසුරාදා දිනයේ සෙත් තොවිලය කිරීමට දින නියම කර ගත්හ.

ගමේ සිටින සියලු දෙනාගේම උපකාර සහිතව සෙත් තොවිලයට අවශ්‍ය සියලුම අංග උපාංග සිකුරාදා දින හවස් වරුව වනවිට ලෑස්ති කර ගැනීමට කලු නැන්දාට හැකි විය.

ඔය අතර පුරාවිද්‍යා කැණීම් වැඩකට කොළඹින් මහත්තයෙක් මෝටර් රථයකින් එහා ගමට පැමිණ තිබුණි.

සෙනසුරාදා උදේ පටන් සෙත් තොවිලයට අවශ්‍ය කළමනා ගමේ සියල්ලන්ගේම සහයෝගය ඇතිව කලු නැන්දාගේ මිදුලේ ලෑස්ති කරන්නට විය. සෙත් තොවිලය නිසාවෙන් දූවිලි වැදී තිබූ කලු නැන්දාගේ නිවස එළිපෙහෙළි වී ප්‍රියමනාප නිවසක් බවට පත් වී තිබුණි.

"දුවේ සේරම අඩුම කුඩුම ටික ලෑස්තියි නේද? උඹ ගිහින් සුදු ඇදුමක් ඇදගෙන වරෙන්"

ඒ එසලින් අක්කාගේ කටහඬ විය.

ගමේ ගුරුන්නාන්සෙ යකෙදුරා සහ සහායක පිරිස සමග සෙත් තොවිලයට අවශ්‍ය බෙර ආදිය රැගෙන කළුවර වැටෙන මොහොතේදී නිවසට සේන්දු විය.

ආතුරයා සහ කලු නැන්දා ගොක් කොළවලින් සැදූ මල් පැලය ළඟ දණගසා සිටි අතර ගමේ අනෙක් උදවිය ඊට පසුපසින් සිටියහ.

"ඔන්න එහෙනං සියලු අපල උපද්‍රව දූරීන්බූත වෙන්න කියල වැඩේ පටන් ගමු.."

යකෙදුරා තම කාරිය පටන් ගත්තේ පහන පත්තු කර බුදුන් වැද ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවය.

සෙත් තොවිලයක් කියුවිට ගමේ සෙනඟ මෙන්ම එය ආරංචි වූ  අයද එය බැලීමට පැමිණීම සිරිතකි. එහා ගමේ කැණීම් කිරීමට පැමිණි කොළඹ මහතා ද තව මහතෙකු සමග සෙත් තොවිලය බැලීමට පැමිණෙන්නේ තොවිලයේ අවසාන මොහොතට ළඟා වූ පසුවය.

තොවිලය කුමක් සඳහා ද යන්න අවබෝධ කරගත් කොළඹ මහතා තොවිලයේ ආතුරයා බැලීමට සෙනඟ අස්සෙන් යකෙදුරා අසලට සමීප විය. මැදි වයසේ පසු වූ කොළඹ මහතා තවමත් අවිවාහක තරුණයෙකි. රණ්මිණි දුටු ඔහුගේ  සිත ඇය කෙරෙහි ආකර්ශනය විය.

තොවිලය නිමා වෙනතුරු එහි රැදී සිටි කොළඹ මහතා කලු නැන්දාගේ නිවසින් පිට වූයේ පහුවදා උදෑසනම නැවත පැමිණීමේ අරමුණිනි.





Nihal Ananda

unread,
Nov 6, 2023, 12:43:39 AM11/6/23
to ind...@googlegroups.com
" බැක්මන් "
මේක ..... ටිකක් අමුතු ජාතියේ  කතාවක්.  (ටිකක් නෙමෙයි, හොඳටම.)
ඉහලම ගනයේ සන්ගිතඥයෝ , කලාකරුවෝ   ගැන ,ඔවුන්ගේ madness ,eccentricity ගැන ......මේ ජාතියේ ඇත්තම කතා තියෙනවා.  Mozart ගැන film එකක්  මතක් වෙනවා, මේ  ජාතියේ තමයි. 

මේ කතාව  ලියල තිබෙන්නේ .... Vladimir Nabokov.
ඔහුගේ ප්‍රසිද්ධම කතාව ....  " Lolita ".   අමුතුම  controversial කතාවක්. 
මේක ඇමෙරිකාවේ එහෙම ban කරලත් තිබුනා. , Child porn ලෙසත් හඳුන්වනවා. 
Indraka  පොත් සාප්පුවේ , මේ පොත තිබුනා. 
කතාව කියවා නැතත්, film එක බලපු අය  ඇති.

Nabakov ගැනත්, මේ කතාව ගැනත්  search කළා. 
https://en.wikipedia.org/wiki/Vladimir_Nabokov

https://en.wikipedia.org/wiki/Bachmann_(short_story)

Or his short story Bachman, about a liaison between a neurotic pianist Bachman and a lame married woman, Perova. When their platonic liaison is finally consummated physically, Perova dies. The story concludes with the following author’s (Nabokov’s) comments: “I think this was the sole happy night in the whole of Perova’s life. I think that these two, a semi-demented musician and a dying woman, discovered during this night words which the greatest poets of the world have not dreamt of” A passage like this speaks for itself. One can only add that reading it, one wants to crawl under his chair.

Nissanka Rajapaksa

unread,
Nov 6, 2023, 3:31:44 PM11/6/23
to INDRAKA group

5

නගරාධිපති දත හෙවත් මෙකල්හි එක් දිනක් 

ගැබ්‍රියල් ගාෂියා මාකේස් මහතාගේ One of these days නම් වන කෙටි කතාව ඇසුරිනි
පරිවර්තනය : රන්දිකා රණවීර ප්‍රනාන්දු

      වැහිනැති, උණුසුම් සඳුදාවක්. වේලපහෙන් අවදිවන අවුරෙලියෝ එස්කොවා, උපාධියක් නොමැති දත් දොස්තර, උදෑසන හයට සිය කාර්යාලය විවෘත කළේය. ඒ වනවිටත්, අච්චුවට සවිකර තිබූ බොරු දත් පෙළක් වීදුරු ඇසුරුමෙන් පිටතට ගත් ඔහු ප්‍රමාණාකූලව අසුරා ප්‍රදර්ශනයට තබා තිබූ උපකරණ පොදිය මේසය මතින් තැබුවේය. හීන්දැරි සෘජු පුද්ගලයෙකු වූ දොස්තර, කරපටි රහිත ඉරි කමීසය රන්වන් බොත්තමකින් කර පියවා, සස්පෙන්ඩරයෙන් රැඳවුණු කලිසමක් ඇඳ සිටි අතර ඔහුගේ බැල්ම කන් නොඇසෙන කෙනෙකුගේ බැල්ම මෙන් අවට පිළිබඳ හැඟීමකින් තොරවිය. 

      මේසය මත සියල්ල ස්ථානගත කළ ඔහු, කුඩා විදුම් යන්ත්‍රය පුටුව වෙත ලංකර ගෙන වාඩි වූයේ බොරු දත් ඇන්ද ඔප දැමීමටය. බැලූ බැල්මට පෙනුනේ යෙදී සිටි කාර්යය පිළිබඳ කල්පනාවෙන් තොර බවක් වුවද, ඔහු නොනැවති ක්‍රියා කරමින් උන්නේය. උවමනා නොවන විටත් අනිච්ඡානුග ව මෙන් පාදයෙන් විදුම් යන්ත්‍රය ක්‍රියාකරවමින් තිබිණ. 

      උදෑසන අට පසු වූ පසු ජනේලය තුලින් අහස විමසන්නට සිය කාර්යය මදකට නැවතූ ඔහු දුටුවේ අල්ලපු ගෙදර වහළ මුදුනේ සිට කල්පනාකාරීව හිරුරැස් තපින රාජාලියන් දෙදෙනෙකි. දහවල් ආහාරයට පෙර වසිනු ඇතැයි යන සිතුවිල්ලෙන් ඔහු නැවත කාර්යයට යොමුවිය. සිය එකොළොස් අවුරුදු වයස් පුත්‍රයාගේ කන් සිදුරු කරවන කටහඬින් ඔහුගේ අවධානය බිඳිනි. 

      “තාත්තේ!“ 

      “මොකද?“ 

      “නගරාධිපතිතුමා අහනවා ඔයැයි එයැයිගේ දත ගලවනවද කියලා“ 

      “මං මෙහෙ නැහැ කියන්න!“ 

      ඔහු රත්තරං දතක් ඔප දමන්නට වන්නේය. අතේ දුරින් එය ඉහළට අල්ලා ඇස් හීනි කරමින් පරීක්ෂා කරන්නේය. පටු පොරොත්තු කාමරයේ සිට නැවතත් පුත්‍රයා කෑමොර දුන්නේ මෙවිටය. 

      “එයැයි කියනවා ඔයැයි ඉන්නවා කියලා. මොකද එයැයිට ඔයැයිව ඇහෙනවා“ 

      දත් දොස්තර දිගට ම දත පරීක්ෂා කරමින් සිටියේය. ඔහු පිළිතුරු දුන්නේ එතෙක් කළ කටයුත්ත පිළිබඳ ව සෑහීමට පත්වීමෙන් පසු එය මේසය මතින් තැබීමෙන් අනතුරුවයි. 

      “අන්න ඒක වඩා හොඳයි!“ 

      නැවතත් විදුම් යන්ත්‍රය ක්‍රියාත්මක විය. නිම නොකළ කොටස් තිබෙන පෙට්ටියෙන් ගත් කොටස් කිහිපයක් මේසය මත තැබූ ඔහු නැවතත් රත්තරං දත මදින්නට වන්නේය. 

      “තාත්තේ!“ 

      “මොකද?“ ඔහුගේ භාවයෙහි වෙනසක් නොවීය. 

      “එයැයි කියනවා, දත ගැලෙව්වේ නැත්තං ඔයැයිට වෙඩි තියනවා කියලා“ 

      කිසියම් ම කලබලයක් නොමැතිව, නිශ්චලත්වයට ඉතාමත් ආසන්න වූ අභිනයකින් විදුම් යන්ත්‍රය ක්‍රියා කරවූ පාදය නැවතූ ඔහු, යන්ත්‍රය පසෙකින් තබා ඈතින් තිබූ මේසයේ පහත ම ලාච්චුව ඇරියේය. එහි තිබුණි රිවෝල්වරය! 

      “හරි...,“ ඔහු කීවේය.  “එයැයිට ඇවිත් වෙඩි තියන්න කියන්න“ 

      දොර හරස්වන ලෙස පුටුව තල්ලු කරදැමූ ඔහු ලාච්චුවේ දාරය මත අත තබා ගත්තේය. නගරාධිපතිවරයා දොරකඩ ප්‍රාදූර්භූත විය. මුහුණේ වම්පස රැවුල බාන ලදුව, වේදනාවෙන් ඇදී පැදී ගිය දකුණුපස වූ පස් දිනක් වයසැති රැවුලක් සමගින... නිදිවරා, බලාපොරොත්තු බුන් ව ගෙවුණු රාත්‍රීන් කිහිපයක ම නටඹුන් නගරාධිපතිවරයාගේ අඳුරු දෙනෙත් ඔහුට පෙන්වා දුන්නේය. ඔහු ඇඟිලි තුඩින් ලාච්චුව වසා මෘදුව මෙසේ පැවසුවේය. 

      “ඈඳිගන්න“ 

      “සුභ උදෑසනක්“ නගරාධිපතිවරයා කීය. 

      “උදෑසනක්“ දොස්තර පැවසීය. 

      උපකරණ තැම්බෙන අතරේ නගරාධිපතිවරයා පුටුව මත දිග ඇදී හිස නියමිත තැන සතපාගත්තේය. ඔහුට යම් තරමක පහසුවක් දැනිණ. ඔහුගේ සුසුම් සිසිල්විය. ඒ හැටි යමක් නොවූ ඒ කාමරය දුප්පත් පෙනුමක් ඉසිලීය. පරණ ලී පුටුව, කකුලින් ක්‍රියාකරවන විදුම් යන්ත්‍රය, සෙරමික් බෝතල සහිත වීදුරු බහලුම, පුටුවට ඉදිරිපසින් කුඩා ජනෙල් කවුළුව. දොස්තර ලං වූ බව හැඟුනු විට සිය පා යුවල කිටි කිටියේ තදකරගත් නගර අධිපතියා සිය මුව විවර කළේය. 

      අවුරෙලියෝ එස්කොවා ඔහුගේ හිස විදුලි එළිය දෙසට හැරෙව්වේය. ආසාධිත දත පරීක්ෂා කිරීමෙන් පසු ඔහු නගරාධිපතිවරයාගේ යටි හනුව ඉතාමත් සෙමින් තල්ලු කර කට වැසුවේය. 

      “හිරිවට්ටන්නේ නැතුව කරන්නයි වෙන්නේ“ ඔහු පැවසුවේය. 

      “ඇයි?“ 

      “සැරව ගඩුවක් තියෙනවා“ 

      නගරාධිපතිවරයා දොස්තරගේ දෙනෙතට ගිලී බැලුවේය. 

      “හා එහෙනම්“ යි පැවසූ ඔහු සිනා වන්නට උත්සහ කළේය. 

      දොස්තර කලබලයෙන් තොරව ජීවානුහරිත උපකරණ කුඩා අඬුවකින් අල්ලා මේසය මත පෙළ ගැසීය. සපත්තු තුඩින් පඩික්කම ලං කළ ඔහු දෙඅත් සෝදාගැනීමට ගියේය. මේ සෑම දෙයම කරන අතරතුරේ ඔහු කිසිවිට නගරාධිපතිවරයා දෙසට නෙත් යොමුකළේ නැත. නමුත් නගරාධිපතිවරයා කිසිවිට ඔහු වෙතින් නෙත් ඉවතට ගත්තේ නැත. 

      එය යටිහනුවේ ඥාන දතකි. පා යුවල විහිදා හිටගත් දොස්තර උණුසුම් ඩැහි අඬුවෙන් දත තදින් ග්‍රහණය කරගති. නගරාධිපතිවරයා සිය අත් දෙකින් පුටු ඇන්දේ ගැට ගැහුණි, පා යුවල සියලු වෙර යොදා පුටුවට මිරිකා ගති, ඔහුගේ වකුගඩු සිසිල් අවකාශයක් ඇති කරනු ඔහුට දැණින, එනමුදු මුවින් නොවේ කිසිඳු හඬක් පිටවූයේ. දොස්තර සෙලවූයේ සිය මැණික් කටුව පමණි. ක්‍රෝධය නොතැවරුණු මුත්, පමණටත් වඩා තැවරුණු කටුක මෘදුභාවයකින් යුතුව ඔහු මෙසේ පැවසුවේය. 

      “අපේ මිය ගිය මිනිසුන් විසිදෙනා වෙනුවෙන් නුඹ දැන් ගෙවයි!“ 

      සිය යටිහනුව බිඳෙනු නගරාධිපතිවරයාට දැණුනි. ඔහුගේ දෙනෙත් කඳුලින් පිරිණි. නමුදු දත එළියට එනතුරු ඔහු හුස්ම අල්ලා සිටියේය. අනතුරුව ඔහු සිය බොඳවුණු දෙනෙතින් එය දුටුවේය. ගෙවුණු පස් රැය පුරා වටහා ගැනීමට නොහැකි තරම් වූ ඉහළක තිබූ මාරාන්තික වේදනාවෙන් හිංසා ගෙන දුන්නේ මේ දතදැයි ඔහුට සිතා ගැනීමට නොහැකි විය.

පඩික්කමට නැවුණු ඔහු දහදියෙන් තෙමෙමින්, ක්ලාන්ත වෙමින් කබායේ බොත්තම් ගලවන අතරේ කලිසම් සාක්කුවට අනෙක් අත දමමින් ලේන්සුව සොයන්නට විය. දොස්තර ඔහුට පිරිසුදු රෙදි කඩක් පිරි නැමීය. 

      “කඳුලු පිහදා ගන්න.“ 

      නගරාධිපතිවරයා එසේ කළේය. ඔහු කම්පිතව උන්නේය. දොස්තර දෑත් දොවන අතරේ, දිරාපත්වෙමින් ඇති සිවිලිමේ බැඳි මකුළු දැලක තිබූ මකුළු බිත්තරත් එහි පැටලී මිය ගිය කෘමී සතුනුත් ඔහු දුටුවේය. දොස්තර දෑත් පිස දමමින් හැරුණේය. 

      “කෙලින් ම ඇඳට යන්න, සැරින් සැරේ ලුණු වතුරින් කට හෝදන්න“ ඔහු පැවසීය. 

      නගරාධිපතිවරයා නැගී සිටියේය. හමුදාමය ආචාරයක් යාන්තමට දක්වා සමුගැනීමේ වදනක් බිනීය. අනතුරුව කකුල් දිග අදිමින්, කබාය නොපියවාම දොර වෙත ඇවිද ගියේය. 

      “බිල එවන්න“ නගරාධිපතිවරයා කීය. 

      “ඔබට ද, නගර සභාවටද?“ 

      නගරාධිපතිවරයා දොස්තර දෙස නොබලා ම දොර වසා පිට වී ගොස් ජනෙල් කවුළුවෙන් එබුනේය. 

      “ඔය කොයි ඉලව්වත් එකයි!“ 


Nissanka Rajapaksa

unread,
Nov 7, 2023, 4:42:43 PM11/7/23
to INDRAKA group

 6

කැපකාර ෆ්‍රෙඩාගේ රැකවරණය ලත් සොහොන

ලුසි මෝඩ් මොන්ටිගොමරිගේ කෙටි කතාවක් ඇසුරින්,
පරිවර්තනය රන්දිකා රණවීර ප්‍රනාන්දු විසිනි
     ෆ්‍රෙඩා ජීවත් වූ උතුරු තුඩුව, මුළු ලෝකයෙන්ම වඩා ම ශීතාධික පළාත බව එම ප්‍රදේශයට බොහෝ සේ ඇලුම් කරන ගැමියන්ට පවා පිළිගැනීමට සිදු වී ඇති කරුණකි. ඊසාන දිග රළු සුළං මුහුදු බොක්ක හරහා විසිල් හඬ නගමින් පැමිණ, මුහුදු බොක්කේ සිට ඉහළ නැගෙන උස් කඳු මුදුන කරා ඇදී යන්නේ මග හමුවන සියලුම දේ විනාශ කරමිනි. එමග බේරී සිටීමට සමත් ව ඇත්තේ කේතුකාකාර ගස් හා කුඩා කටු සහිත පඳුරු පමණි.


     කඳු මුදුනේ, ගිනිකොණදිග දෙසින් තිබූ සෙවණ සහිත නිම්නයක උතුරු තුඩු පල්ලිය පිහිටා තිබූ අතර මුළු උතුරු තුඩුවට ම තිබුණු දර්ශනීය ම ස්ථානය වූ සුසාන භූමිය එයට පිටුපසින් පිහිටා තිබුණි. උතුරු තුඩු වැසියන් මල් වලට ඉමහත් කැමැත්තක් දැක්වූවත් ඔවුන්ට සිය ගෙවත්තේ මල් වවා ගැනීමට හැකියාවක් නොමැති බැවින්, ඔවුහු එම අලංකාරය සුසාන භූමිය වෙත තිළිණ කරති. එහි තම පවුලට හිමිව ඇති බිම් කැබැල්ල, වල් පැළෑටි ඉවත් කර, මල් පැළෑටි නිසි ලෙස කප්පාදු කොට, අලංකාර මලින් සුසැදි ව පවත්වාගෙන යෑම ඒ ඒ පවුලේ සාඩම්බරය පිළිබඳ මෙතෙක් නොඇසූ කතාවකි.

     වසරේ මැයි මාසයේ තෝරාගත් දිනයක දී සුසානභූමිය සුද්ධ පවිත්‍ර කොට අලංකාරවත් කිරීම, මෙම පුංචි මිනිස් සමූහය විසින් පිළිපදින, ‘නීති පොතක සටහන් නොකෙරුණු නීතියක්’ වැනි යමකි. එය කිසිසේත් ම අසතුටුදායක රාජකාරියක් නොවීය. ඒ ආසන්න දිනයක දී වියෝ සංවේගයට පත් වූවන්ට පවා!

     සිය නෑසියන් සදාකාලික නින්දේ සුව ලබන බිම අලංකාරවත් කිරීමෙන්, ගම්වැසියෝ ඔවුන් වෙනුවෙන් තවමත් කැපවීමෙන් කටයුතු කරන බවක් අර්ථ ගන්වති.

    දරුවන් ‘සුසානභූමි දිනය’ වෙනුවෙන් මඟ බලා සිටියේ එය ආනන්දජනක සංවත්සරයක් ලෙස හඟිමිනි.

     "දන්නවනේ, හෙට සුසාන භූමි දිනය!" පාසලේ විවේක කාලයේ දී, සියලුම දැරියන් වැට මත වාඩි වී සිටින අවස්ථාවේ දී මැනී හචින්සන් පැවසුවාය. "නියමයි නේද? රොබට් මාමා නගරයෙන් ලොකු සුදු රෝස පඳුරක් එව්වා, මම ඒක හචින්සන් අත්තම්මගේ සොහොන උඩ ඉන්දන්න ඉන්නේ"

     "අපේ අම්මාත් රෝස පඳුරු දහයක් ලෑස්ති කරගෙන ඉන්නේ" නැන් ග්‍රේ සිය ආඩම්බරය පෑවා ය.

    "අපේ කෑල්ල වටේම ලිලී පේලියක් යවන්නයි අපි හිතාගෙන ඉන්නේ" ඒ කෙටී මොරිස් ය.

     කුඩා ෆ්‍රෙඩාට හැර අනෙක් සියලුම පුංචි ගැහැනු ළමයින්ට පාරට්ටු කියන්නට යමක් තිබිණ. කොනකට වී තනි ව වාඩි වී සිටි ඇයට සියල්ලෙන් ම වෙන්වී හුදකලා වූ ලෙසක් දැණින. ඇයට බිම් කැබැල්ලක හිමිකමක්වත්, සුසානභූමි දිනය වෙනුවෙන් කළයුතු යමක්වත් නො තිබිණ.

     "ෆ්‍රෙඩා ඔයා මොනවා හරි හිටවන්න ද ඉන්නේ?" නැන් ඇසුවේ අනෙක් අයට ඉඟි මරමිනි.

     ෆ්‍රෙඩා නිහඬ ව හිස දෙපසට වැනුවාය.

     "ෆ්‍රෙඩාට මොකුත් හිටවන්න බැහැනේ" විනී බෙල් හට කෲර වන්නට වුවමනා නොවූවත්, ඇය එය පැවසුවේ කුරිරු ලෙසිනි. "එයාට සොහොනක් නැහැ!"

     උතුරු තුඩුවේ වැසියෙකු හැටියට, එහි සුසාන භූමියේ බිම්කඩක හිමිකරුවකු නොවීම, ඔබව සදහට ම වංශයෙන් පිට කෙනෙකු සේ හංවඩු ගසන්නට ප්‍රමාණවත්! සිය මිතුරියන් මැද මේ මොහොතේ ෆ්‍රෙඩාට හැඟුණේ සොහොනකට හිමිකාරිත්වයක් නැතිකම අපරාධයක් ලෙසින් සේ ම අපකීර්තියකට හේතුවක් ලෙසිනි. අනෙකුත් ගැහැනු ළමයි ෆ්‍රෙඩා ගැන කණගාටුවෙන් මෙන් කතා කරන අතරේ ම, තමුන්ට පරම්පරාගත ව උරුම වූ සොහොන් බිම් තිබීම හේතුවෙන් හිමි ව ඇති සුසානභූමි දිනය සැමරීමේ අයිතිය ගැන උදම් ව, ඇය ව පහත් කොට සැළකුවෝ ය.

     තමාගේ අවාසනාවට නිමක් නැතැයි ෆ්‍රෙඩාට සිතුනි. අනෙකුත් දැරියන් සෙල්ලමට දිව යද්දී ඇය ඉතාමත් කණගාටුදායක ලෙස වැට මත වාඩි වී කල්පනාවෙන් බලා සිටියා ය. හවස් වූ පසු නිවෙස වෙත හුදකලාවේ ඇවිද ගියාය. ඇයට තවදුරටත් මේ කණගාටුව දරා ගැනීමේ හැකියාවක් නොවීය.

     ෆ්‍රෙඩා දස අවුරුදු වයස් දැරියකි. විල්සන් මහත්මිය නගරයේ වූ අනාථ නිවාසයෙන් ඇය මෙහි කැඳවාගෙන ආවේ මීට අවුරුදු හතරකට පෙරදීය. සුසාන භූමිය අසල වූ නිවසක ජීවත් වූ විල්සන් මහත්මිය උතුරු තුඩුවේ මිනිසුන් හැඳින්වූයේ ඔල්මාද කාරියක ලෙසිනි. නැතහොත් 'පිස්සු ගෑනියෙක,' ලෙසිනි. ඇය සමග සිටින්නට වන කවර දරුවකුට වුවද තමන් අනුකම්පා කරන බව ඔවුහු පැවසූහ. ඇයට හෝ ඔහුට මරණය තෙක් වහලකු මෙන් සේවය කිරීමට සිදු වනු ඇතැයි ඔවුහු සිතුවෝ ය.

     මුලදී ඔවුහු මේ පිළිබඳ ව ෆ්‍රෙඩා දැනුවත් කිරීමට උත්සාහ දැරුවත් ඕපදූප වෙත අවධානය යොමු නොකරන, කල්පනා බරිත විසල් දෙනෙතක් හිමි නිහඬ කුඩා ජීවියකු වූ ඇගේ අවධානය දිනා ගැනීමට එම කතන්දර සමත් නොවීය. එහෙත් යම් හෙයකින් ෆ්‍රෙඩා පැමිණිලි කළේ නම්, තම අනාවැකි සත්‍යය බව ඔවුන් නිසැකවම පසක් කොට ගන්නට ඉඩ තිබිණි.

     "විල්සන් නෝනා," රාත්‍රියේ දී ෆ්‍රෙඩා බයාදු ලෙස විල්සන් මහත්මිය ඇමතුවාය. "ඇයි අපිට සොහොනක් නැත්තේ?" මෙවැනි ප්‍රශ්න විල්සන් මහත්මිය වෙත පලා යාමේ උවමනාවක් ඇති කරවයි.

     "අපිට එහෙම එකක් නැති එක ගැන උඹ ස්තුති කරපං," ඈ බරපතළ ලෙස කීවාය. "ඔය සුසානභූමි දිනය කියන්නේ තනිකර ම මිත්‍යාදෘෂ්ටික චාරිත්‍රයක්. ඒ කට්ටිය ඒක අනිවාර්ය සවාරියක් කරගෙන, ඔක්කොට ම වඩා පිස්සු හැදෙන්නෙ ඉස්කෝලේ කෙල්ලො ටික තමන් මොනවද හිටවන්නේ කිය කියා අනිත් අයට වඩා ලොකුකම් පෙන්නන්න යන එකයි. මට සොහොනක් තිබ්බ නම් මම කීයටවත් ඒක මල්වත්තක් කරන්නෙ නැති වෙයි!"

     පසුදා නිවාඩු දිනයක් වුවත් ෆ්‍රෙඩා සුසාන භූමිය වෙත නොගිහින් සිටියා ය. නමුදු සන්ධ්‍යාවේ දී සියල්ලන් ම නිවෙස් කරා පිට ව ගිය පසු කඳු ගැටය දිගේ බඩ ගා, බීච් පඳුරු මැදින් එබී, සිදු වී ඇත්තේ කුමක්දැයි විමසිලිමත් වූවා ය. අලුතින් මල් පැල සහ මල් ගස්වල අල වර්ග සිටුවන ලද බිම් කට්ටි ඉතාමත් පිළිවෙලට, සිත් ඇදගන්නාසුළු ව හා නැවුම් ව දිස්විය. සමහර පැළෑටි වල දැනටමත් මල් පොහොට්ටු පෙනෙන්නට තිබූ අතර අවුරුදු හතළිහකට පෙර මියගිය කෙටි මොරිස්ගේ මාමාගේ සොහොන, දර්ශනීය ව පිපී හිනැහෙන දම්පාට පැන්සි මල්වලින් සම්පූර්ණයෙන් වැසී තිබුණි.

     ෆ්‍රෙඩා පුදුමයට පත් කරවමින්,කෙතරම් කුඩා වුවත් පැරණි වුවත් සියලුම සොහොන් සිය වාර්ෂික තිළිණ දිනා තිබිය දී, එකක් පමණක් වල් වැදීමෙන් පාලුවට ගොස් තිබිණ. හැදීගෙන එන පොප්ලර් ගස් මණ්ඩියකට මුවා ව, වෙනත් කිසිඳු සොහොන් කොතක් නොමැති පහළ කොනට වන්නට හුදකලාව තිබුණු එය, සරුවට වැඩුණු බ්ලූබෙරි පඳුරු රාශියක් දරාගෙන පොළොව මත ගිලී ගියාක් සේ දිස්විය. සමරු ඵලකයක් පෙනෙන්නට නොතිබුණු එහි, අත්හැර දැමීම නිසා උපන් දුක්මුසු පෙනුමක් දකින්නට තිබිණ. ෆ්‍රෙඩා ඒ පිළිබඳව කනගාටු වූවාය.

     ඇයට රැක බලාගන්නට සොහොනක් නොමැත. මේ සොහොන රැක බලාගන්නට කිසිවෙකුත් නොමැත.

     ඈ නිවසට ගිය පසුව ඒ සොහොන කාගේදැයි විල්සන් මහත්මියගෙන් විමසා සිටියාය.

   "හ්ම්... උඹට නහස්ති කරන්න තරම් වැඩිපුර කාලය තියෙනවා නම්, සොහොන් ගැන හොය හොයා ඇවිදිනවට වඩා හොඳ නැද්ද මැහුමක් ගෙතුමක් බලා ගත්තා නම්? මගේ ඇඟිලි ගෙවෙනකම් උඹට ඇඳුම් මහන්න ද කියන්නේ? මට දැන් හිතෙනවා උඹට ළමා නිවාසෙ ම ඉන්න ඇරියා නම් හොඳයි කියලා. ඔය කියන එක මං හිතන්නෙ, අර වැඩකට නැති බේබද්දා... ජෝර්ඩන් ස්ලේඩ්ගේ සොහොන. අවුරුදු විස්සකට උඩදි මැරුණා. ඇන්ඩෘ මැසර්වේගේ ස්ටෝරුව කඩපු නිසා ඒකාට හිරේ යන්න වුණා. ඊට පස්සේ නිදහස් වෙලා ආපහු මෙහෙට ආවා. මෙහෙ ඉන්න ජේත්තුකාර, නම්බුකාර මිනිස්සුන්ට උන්දැ එක කරන්න දෙයක් තිබ්බේ නැහැ. මහ මඟට වැටුණා, මැරුණට පස්සේ රජයේ වියදමෙන් වළ දැම්මා. ඒකාගේ නෑයෝ කවුරුත් මෙහේ නැහැ. නැගෙනහිර තුඩුවේ කොග්ස්වෙල් පවුල එක්ක ජීවත්වුණු අවුරුදු දහයක නංගි කෙනෙක් හිටියා. හොඳ පෙනුමට හිටපු ඒ දැරිවි, ජෝර්ඩ් මැරුනට පස්සේ පෝසත් පවුලක කට්ටියක් එක්ක ගෙන ගිහින් තිබුණා. මං දන්නේ නැහැ පස්සේ මොනවා වුණාද කියලා, මට ඇති වැඩකුත් නැහැ. හා... හා... දැන් ගිහින් හරක් ටික අරන් වරෙන්!"

     එදින රැයේ නින්දට යනවිට ෆ්‍රෙඩා යම් තීරණයක් ගෙන තිබුණි. ඇය ජෝර්ඩන් ස්ලේඩ්ගේ සොහොන, කැපකරුවකු සේ රැකබලා ගැනීමට යන්නී ය!

     එයින් අනතුරුව ෆ්‍රෙඩාගේ විවේක කාලයෙන් සෑහෙන ප්‍රමාණයක් ගත වූයේ සුසාන භූමියේදී ය. මලකඩ කෑ පැරණි ලොකු කතුරකින් බ්ලූබෙරි පඳුරු කප්පාදු කර, වෙලී පැටලී තිබුණු තණ පඳුරු සියල්ල ගලවා අවසන් වනවිට, ඇගේ දුඹුරු පුංචි පාට අත් පුරා දිය බුබුළු නැගී තිබිණ.

    ඉන්පසුව ඈ සොහොන මත සිටු වන්නට වනයෙන් මීවන පඳුරු ගලවා ගෙන ආවා ය. නැන්ගෙන් ඇත්සොඬ මුලක් ඉල්ලා ගත් ඈ ලිලී පඳුරක් වෙනුවෙන් කෙටී හමු වූවා ය. රෝස අතු කැබැල්ලක් හමුවූයේ නෙලීගෙනි. මහලු බෙනට් මහත්මියගෙන් පැන්සි ඇට කිහිපයක් ලැබුණු අතර ජෙරනියම් ඉත්තක් ලැබුණේ මැනීගේ අක්කාගෙනි. ඈ පැළ සහ ඇට සිටෙවුවා ය. වතුර දමා උවමනාවෙන් සාත්තු කළා ය. අවසානයේ ඒ උත්සාහය සාර්ථක වෙමින් ඇගේ සොහොන අනෙකුත් සෑම සොහොනක් සේම අලංකාරවත් ලෙස දිස් වන්නට විය.

     කාලය ගතවිය. ෆ්‍රෙඩා හැර අන් කිසිවෙකු ඒ ගැන දැන සිටියේ නැත. වැඩුණු පොප්ලර් යාය විසින් ඒ කොන අවට ලෝකයෙන් සඟවාගෙන සිටියි. සම්භාවනීය පුරවැසියෙකු නොවූ ජෝර්ඩන් ස්ලේඩ්ගේ සොහොන ලොවට අමතක ව ගොසිනි. අවම වශයෙන් සිතුවොත් එලෙසින් පෙනෙන්නට තිබේ. නමුදු එක් හැන්දෑවක වතුර බාල්දියක් රැගත් ෆ්‍රෙඩා හිමින් සීරුවේ සුසාන භූමිය වෙත ඇදී, පොප්ලර් වැටිය වටෙන් ඇගේ සොහොන වෙත යද්දී කලු ඇඳුමින් සැරසුණු ආගන්තුක කාන්තාවක්, සොහොන අසල සිටගෙන කඳුළු සලමින් සිටියාය. ඇගේ මුහුණු දුටු මොහොතේ, තමා දැක ඇති ලස්සන ම මුහුණ එය යැයි ෆ්‍රෙඩාට සිතුණි.

    වතුර බාල්දියක් ගෙන එතැනට පැමිණි දැරිය දුටු මොහොතේ ඒ කාන්තාව හඬ අවදි කළාය.

   "මට කියන්න පුළුවන් ද කවුද මේ සොහොන රැක බලා ගන්නේ කියලා?" ඈ ඇසුවා ය.

    "ඒ... ඒ... මම," කාන්තාව තමා කෙරෙහි කෝප වේ දෝයි සිතමින් දැරිය පැටලෙමින් කීවා ය. "අනේ නෝනා! ඒ මම, ඒත් මම ඒකට මොකුත් නරකක් කරන්න හිතුවේ නැහැ. අනිත් හැම ගෑනු ළමයාට ම තමන්ගේ ම සොහොනක් තියෙනවා. මට නැහැ. ඉතිං මං හිතුවා මේ කාත් කවුරුවත් නැති සොහොනට කැපකරු වෙලා හදා වඩා ගන්න"

   "ඉතිං ඔයා දන්නවද මේක කාගෙද කියලා?" කාන්තාව මෘදු ලෙස ඇසුවා ය.

   "ඔව් නෝනා... මේක ජෝර්ඩන් ස්ලේඩ්ගේ. විල්සන් නෝනා මට කිව්වා"

   "ඒ මගේ අයියා," කාන්තාව පැවසුවා ය. "අපරාදේ, එයා නොමගට ගියා, ඒත් එයා කියන තරම් නරක කෙනෙක් නෙමෙයි. එයා හරි ම දුර්වල කෙනෙක්. කාට වුනත් නම්ම ගන්න පුළුවන්. මොන තරම් වැරදි තිබුණත් එයා හොඳ කෙනෙක්, කරුණාවන්ත කෙනෙක්... අනේ! මං පුංචි කාලේ එයා මට හරිම කරුණාවන්ත, හොඳ කෙනෙක් වුණා. මං මගේ මුළු හදින් ම මගේ අයියාට ආදරේ කළා. මට හැමදාම උවමනා වුණා මගේ අයියාගේ සොහොන දකින්න එන්න, මගේ ගේ ගොඩක් දුර ඈත තියෙන්නේ, ඒක නිසා මට අද වෙනකම් එන්න බැරි වුණා. මම හිතාගෙන ආවේ මේක වන වැදිලා මට හොයා ගන්නවත් බැරි වෙයි කියලා. මට වචන නැහැ, මේක මේ විදිහට ලස්සනට තියෙනවා දැක්ක ම මට හිතුණ දේ විස්තර කරන්න. මගේ ආදර දරුවෝ, ඔයාට සිය දහස් වාරයක් ස්තුතියි!"

  "ඒ කියන්නේ ඔයාට කේන්ති ගියේ නැද්ද?" ෆ්‍රෙඩා බැබලෙන දෙනෙතින් යුතුව උනන්දුවෙන් ඇසුවා ය. "ඒ කියන්නේ මට දිගට ම මේක රැක බලාගන්න පුලුවන්! අනේ කියන්න නෝනා! පුලුවන් නේද? එහෙම බැරි වුණොත් ඒක මට දරාගන්න බැරි තරමේ වේදනාවක් වෙයි!"
"ඔයාට කැමති කාලයක් මේක රැක බලාගන්න පැටියෝ. මමත් ඔයාට උදව් කරන්නම්. මුලු ගිම්හාන කාලය ම මම ඉන්නේ නැගෙනහිර තුඩුවේ. ඉතිං මේක අපේ සොහොන වෙන්නයි යන්නේ... ඔයාගෙයි මගෙයි!"

    එය ෆ්‍රෙඩාට ආනන්දජනක ගිම්හානයක් විය. හාලිඩේ මහත්මිය වෙතින් ඇයට බොහෝ සේ ලෙංගතු මිතුරු ඇසුරක් හිමිවිය. ඉතාමත් ධනවත් කාන්තාවක වූ ඇයට දරුවන් නොවී ය. ඇගේ සැමියා මියගොස් එතරම් කල් ගත වී නොතිබිණ. සීත කාලය එළඹිණ. හාලිඩේ මහත්මියට පිටත්වීමට කාලය උදාවිය. නමුදු ඇය පිට ව ගියේ තනි ව නොවේ. ‘සදහට ම ඇගේ පුංචි දැරිවිය වන්නට’ ෆ්‍රෙඩා ද ඈ සමග එක් වූවා ය. විල්සන් මහත්මිය අකමැත්තෙන් වුව ඇයට යාමට ඉඩ දුන්නේ ඉර්ෂ්‍යා පර්වශ ව, අකෘතඥ වීම පිළිබඳ ව අවලාද කියමිනි.

   පිට ව යෑමට පෙර, නව කැපකාර මවත් දියණියත්, දියණිය විසින් කැපකාරියක ලෙස රැකබලාගත් සොහොනින් සමුගැනීමට අමතක කළේ නැත. හාලිඩේ මහත්මිය විසින් එය රැකබලා ගැනීම පිණිස උතුරු තුඩු වැසියන් කිහිප දෙනෙකු සොයාගෙන තිබුණු නමුත් සමුගන්නා මොහොතේ ෆ්‍රෙඩා වැළපුණා ය.

   "ඒ ගැන දුක් වෙන්න එපා පැටියෝ," හාලිඩේ මහත්මිය ෆ්‍රෙඩා සැනසුවා ය. "අපි හැම ගිම්හානයකදී ම මෙතැනට එනවා. මේක හැමදාමත් අපේ සොහොන! ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ"
හාලිඩේ මහත්මියගේ අතට තුරුළු වුණු ෆ්‍රෙඩා කඳුළු අතරින් සිනා නගමින් හිස ඔසවා ඈ දෙස බැලුවා ය.




Nissanka Rajapaksa

unread,
Nov 8, 2023, 4:41:53 PM11/8/23
to INDRAKA group
7
භූමිතෙල්

ඉන්දියානු ලේඛක අම්රිතා ප්‍රීතම්ගේ
Stench of Kerosene නම් කෙටිකතාවේ අනුවාදයකි
(රහමෙර වෙබ් අඩවියෙන්)

වෙළඹකගේ හේෂාරවය ඇසුණ සැනින් ගුලේරි ඉමහත් ප්‍රීතියට පත්වූවාය. ඇය වහා පිටතට දුව ගොස් වෙළඹගේ ගෙලට ඇයගේ හිස තබා සිය සතුට ප්‍රකාශ කළාය. ඇය වෙළඹ දුටුවේ සිය මවුපියන්ගේ නිවසෙහි ඉදිරිපස ද්වාරය ලෙසිනි.

ගුලේරීගේ මවුපියන්ගේ නිවස පිහිටා තිබෙන්නේ චම්බා නම් ගමෙහිය. ඇය විවාහයෙන් පසු සැමියාගේ නිවස පිහිටි ලකර්මන්දි ගම්මානයට පැමිණියාය. එය ඉතා උස් බිමක පිහිටා තිබේ. එම උස් බිමේ සිට කවාකාරව පහළට යමින් තම උපන්ගමට යා යුතුය.  තනිකමක් දැනෙන සෑම මොහෙතකම ඇය තම සැමියා සමඟ එම කවාකාර මාවත දැකිය හැකි ස්ථානයට එයි. සූර්යාලෝකයෙන් දිදුලන සිය ගම්මානය දෙස ඇය බලා සිටින්නේ ඉමහත් අභිමානයෙනි.

වාර්ෂිකව එළඹෙන  අස්වනු මංගල්‍යයේ දී ගුලේරි හට තම දෙමව්පියන් හා දින කිහිපයක් ගත කරන්නට අවසර ලැබේ. මෙවර ද ඇයගේ පියා, නාටු නම් වූ විශ්වාසවන්ත සේවකයා ඒවා ඇත්තේ සිය දියණිය වූ ගුලේරි ගෙන්වා ගැනීමටය. ඇයගේ යෙහෙළියන් දෙදෙනා ද විවාහ වී චම්බා ගමෙන් බොහෝ ඇත පෙදෙසක ජිවත් වුවද ඔවුහු ද එකම දිනයේ ගමට පැමිණෙති. ඔවුහු එකිනෙකා අත් බැඳ මහමඟ ඇවිදිති. අස්වනු මංගල්‍යය සඳහා ඇඳුම් ගැනීමට පොළට යති. හිස් ආවරණ සාළුව නැවත පාට ගන්වා, කැඳ දමා සෝදා වේලා, මිනිරන් කුඩු සහ පබළුවලින් අලංකාර කර ගනිති. වීදුරු වළලු සහ රිදී පැහැ තෝඩු මිලයට ගනිති.

ගුලේරි අස්වනු ගෙට ගන්නා දිනය එනතුරු බලා සිටින්නේ ඇඟිලි ගනිමිනි. ගිම්හාන සුළග, මෝසම් වැහි අඳුර ආකාශයෙන් මකා දමද්දී ඇය දිනපතා උදෑසන තමාගේ දිනචරියාවට අයත් යුතුකම් ඉටු කරන්නේ බලාපොරොත්තු සිත තුළ පුරවා ගනිමිනි. ගව මහීෂාදීන්ට කෑම දීම, සැමියාට සහ ඔහුගේ දෙමාපියන් හට කෑම සකස් කිරිම, ආදී සෑම කාර්යයක්ම අතුරතුරදී දෙමව්පියෝ තමා කැටුව යන්නට කවුරුන් හෝ එවතියි සිතයි.

දැන් නැවතත් ඇයට ගමට යන්නට අවස්ථාව උදා වී තිබේ. ඇය අසීමිත ප්‍රීතියෙන් වෙළඹ අතගෑවාය. පියාගේ සේවකයා වූ නාටු දයාබරව පිළිගත්තාය. පසුදින පිටත්වීම සඳහා සූදානම් වූවාය. ඇයගේ චිත්ත ප්‍රීතිය වචනයෙන් ප්‍රකාශ නොකළද සියල්ල ඇයගේ ශෝභා සම්පන්න වූ මුහුණේ ඇදී තිබුණි. ඇයගේ සැමියා ඇය දෙස බලා උරමින් සිටි ගඩුගුඩාව ඉවතට ගෙන දෙනෙත් පියා ගත්තේය. එක්කෝ ගඩුගුඩාවට දැමූ දුම්කොළ වලින් හැමූ අප්‍රසන්න සුවඳ හෝ තම බිරිඳගේ මුහුණ දෙස බැලීමෙන් ඇති වූ අපහසුතාව එයට හේතුව විය හැක.

“ඔයා චම්බා පොළට එනවා නේද? අනේ එක දවසක් හරි එන්න” ඇය සැමියාට කන්නලව් කළාය. ඔහු දුම් උරනය ඉවත තැබුවද කිසිවක් නොකීවේය.

“ඇයි ඔයා මොකුත් නොකියන්නේ?” ඇය මඳක් තරහින් ඇසුවාය.

“මං ඔයාට කියන්නමයි හිටියේ” ඔහු ඇය දෙසට හැරී කීවේය.

“එපා මං දන්නව ඔයා කියන්න යන දේ... මට තේරෙනව. ඔයා විතරක් අවුරුද්දකට සැරයක් ගමට යන්නේ ඇයි කියලනේ?

හොඳයි, මෙච්චර කාලයක් මං ඔයාට යන්න එපා කිවවේ නෑනේ? ඔහු ඇයගේ ප්‍රශ්නයට ප්‍රශ්නයකින්ම පිළිතුරු දුන්නාය.

“එහෙනම් ඇයි ඔයා මේ සැරේ විතරක් මාව නවත්තන්න හදන්නේ?

මේ වතාවෙ විතරක්වත්.... ඔහු ඉල්ලා සිටියේය. “ඔයාගේ අම්මවත් මොකුත් කිව්වෙ නැහැනෙ. ඇයි ඔයා හරස් වෙන්නේ? ගුලේරි හිතුවක්කාර ළදැරියක සේ තර්ක කළාය. “මගේ අම්මා.. “ මනක් යමක් කියන්නට උත්සාහ කළද කියාගන්නට නොහැකිව වේදනාවෙන් නිශ්ශබ්ද වූයේය.

එම දිගු රාත්‍රිය අවසානයේ ගුලේරි හිමිදිරියේම සූදානම් වූවාය. ඇයට දරුවන් සිටියේ නැත. එසේ හෙයින් රැගෙන යන්නේ කෙසේද හෝ තබා යන්නේ කෙසේද යන ප්‍රශ්න ඇයට තිබුණේ නැත. නාටු සෑදලය සකස් කොට වෙළඹ සූදානමින් තැබුවේය. ගුලේරි මනක්ගේ දෙමව්පියන් වැඳ සමුගනිද්දී ඔවුහු ඇයගේ හිසට අත තබා ආශිර්වාද කළහ.

“මාත් මගට එන්නං” මනක් කීවේය.

ගුලේරි අධික ප්‍රීතියෙන් ගමන ආරම්භ කළාය. ඇය ඔහුගේ බටනලාව සිය සාළුවෙහි ඔතා සගවා ගත්තාය.

බාජිරි ගම පසු කරද්දී ගුලේරි සගවා ගත් බටනලාව‍ ගෙන  ඔහු අත තබා “එන්න මෙය වාදනය කරන්න” යි කීවාය. නමුත් මනක් සිතුවිලි අතර, අතරමං වී සිටියෙන් ඇය කියූ කිසිවක් නොඇසුණි.

“ඇයි ඉතින් ඔයා වාදනය කරන්නේ නැත්තේ”?

ඇය සුපුරුදු තොදොල් බසින් අසුවාය. ඔහු ශෝකයෙන් ඇය දෙස බලා බටනලාව තොල් අතරේ තබා වාදනය ආරම්භ කළේය. ඉන් නිකුත් වූයේ ශෝකී විලාපයකි.

“ගුලේරි අනේ ඔයා යන්න එපා. මං මේ තවපාරක් කියන්නේ‍ හේතුවක් තියෙන නිසා. මේ වතාවේ යන්න එපා” කියමින් ඔහු ශෝකයෙන් බටනලාව  ඇය අත තැබුවේය.

“ඇයි ඉතින්... මොකක්ද හේතුව? ඔයා පොළට එන්න. එතකොට මං ඔයා එක්කම එන්නං. මං පොරොන්දු වෙනව. ඔයා එහේ ආව ගමන් මං එනව” ඇය කීවාය.

මනක් කිසිවක් කීවේ නැත.

කන්ද පා මුලදී ඇය අසුපිටින් බැස්සාය. දෙදෙනාට කතා කරන්නට ඉඩ දී නාටු, වෙළඹ මදක් ඈතට රැගෙන ගියේය. දැනට වසර හතකට ඉහත මේ පාරටම තමා මිතුරන් සමග ආ බව මනක් සිහි කළේය.‍ පොළේදී දුටු ගුලේරි ඔහුට අමතක කළ නොහැකි විය. ඔවුහු ආදරයෙන් බැදුනහ. දෙදෙනා තනිව හමු වූ එක් දිනක් මනක් සිහි කළේය.

“ඔයා හරියට කිරි වැදුණ තිරුඟු කරලක් වගෙයි.”

“කිරි වැදුණ ධාන්‍ය සොයාගෙන හරක් එනවා.” ඇය තම අත මදුවා ගනිමින් කීවාය.

“මිනිස්සු ඒවා තම්බලයි කන්නේ” ඔහු පිළිතුරු බලාපොරොත්තුවෙන් ඇගේ මුහණට එබුණේය.

“ඔයාට මාව ඕන නං මගේ තාත්තව හමුවෙන්න වේවි.”

මනාලිය වෙනුවෙන් පියාට මිලක් ගෙවීම මනක් අයත් ගම් ප්‍රදේශයේ චාරිත්‍රයකි. ඉතා ධනවත්, උගත් පුද්ගලයකු වූ ගුලේරිගේ පියා කොපමණ මුදලක් ඉල්ලාවිද යන සිතුවිල්ල ඔහු අකර්මණ්‍ය කළේය. නමුත් ගුලේරිගේ පියා කියා තිබුණේ දුව වෙනුවෙන් සතයක්වත් නොගන්නා බවත්, කවදා හෝ වැදගත් පවුලක විනීත තරුණයකු ඇයට සොයා දෙන බවත් ය. එහෙයින් සියල්ල පහසු විය.

කල්පනාවේ නිමග්නව සිටි මනක්ගේ කර වටා ගුලේරිගේ අත දැවටුණේය. “මොනවටද ඔයා මේ තරම් හීන දකින්නේ?” ඇය විහිලු කළාය.

ඔහු මුනිවත රැක්කේය. වෙළඹ නොඉවසිල්ලෙන් හඩ නැඟුවාය. ඇය අසුපිටට නැග්ගාය. මොහොතක් තම සැමියා දෙස බලාසිට මදහසින් කටහඩ අවදි කළාය.

“ඔයා දන්නවද මීට ටිකක් ඈතින් තියන නීල සූනු වනය. කවුරු හරි ඒ කැලෑව මැදින් යන එන කෙනෙකුගේ කන් බීරි වෙනවලු. ඔයා නං ඒ කැලේ මැදින් ඇවිත් තියනවා. මං කියපු කිසිම දෙයක් ඔයාට ඇහුණේ නෑ”

“ඔහා හරි ගුලේරි. ඔයා කියපු කිසි දෙයක් මට අහුනේ නෑ” කියමින් සුසුම් ලෑවේය. දෙදෙනා එකිනෙකාගේ මුහුණ දෙස බලමින් මොහොතක් සිටියහ. නොවැටහීම ඔවුන් ගොළු කළේය.

අවසානයේ “මං යනවා ඔයා ගෙදර යන්න” ගුලේරි සෙමෙන් කීවාය.

“ඔයා  මේ බටනලාව ගන්න” මනක් ශෝකයෙන් කීවේය.

“නෑ ඒක ඔයා තියාගන්න. පොළ දවසට ඔයා එහේ ඇවිත් ඕක වාදනය කරනවා නේද?” සිනාසෙමින් ඇසූ ඇය පිළිතුරක් බලාපොරොත්තු නොවී අසුට සන් කළාය. ඇයගේ දෙනෙත් හි‍රුගේ තෙදවත් ආලෝකය විහිදුවමින් තිබුණි. මනක් ඉවත බලාගත්තේය. ගුලේරි ‘චම්බා’ බලා ගමන් කලේ, මනක් ආපසු හැරී තම නිවස බලා යමින් සිටියදීය.

මනක් නිවසට ගොඩ වූයේ අප්‍රාණික සිරුරකින් සහ උදාසීන මනසකින් යුතුවය. සෝපානය මත ඇද වැටුණු ඔහු දෙනත් පියා ගත්තේය.

“මනක්, ඔයා ගෙදරින් ගිහින් කොච්චර වෙලාද? ගුලේරිගේ ගෙදරටම ගියාද?” මනක්ගේ මව කෝපයෙන් ඇසුවාය.

“නැහැ කන්ද පාමුලට විතරයි” බරවූ නාසයෙන් යුතුව මනක් කෙඳිරුවේය.

“මොකද මේ නාකි ගෑණියෙක් වගේ කොඳුරන්නේ මිනිහෙක් වගේ හැසිරියන්” ඇය තදින් කියා සිටියාය.

ඔහුට සිය මවට විරුද්ධව කතා කරන්නට වුවමනා විය. මව තවමත් කෝපයෙන් බලා සිටියි. උඹ හරියට ගෑනියෙක් වගේ. ඇයි උඹට අඩන්න බැරි තව කෙනෙක් ඉල්ලල අලුත් වෙනසකට”.

ඔහු නිහඩව අසා සිටියේය. ගුලේරි තම බිරිද වී අවුරුදු හතකි. ඇය දරුවන් වැදුවේ නැත. මනක්ගේ මව රහසිගතවම විසදුමක් සෙව්වාය. ඇය තරයේ කියා සිටියේ විවාහ දිවියේ අටවැනි අවුරුදු සැමරුමක් සිදු නොවිය යුතු බවයි. මේ වර්ෂයේ ඇයගේ අභිමතය පරිදි රුපියල් පන්සියයක් ගෙවා දෙවැනි බිරිදක් සොයා ගත්තාය. දෙවැනි බිරිද ගුලේරි දෙමවුපියන් වෙත යනතුරු බලා සිටියාය. සිය මවට හා සම්ප්‍රදායන්ට සිය සිරුර කීකරු වුවද, නව බිරිය වෙනුවෙන් ඔහුගේ හදවතෙහි ඉඩක් නොවීය. ඔහුගේ හදවත මිය ගොසිනි.

එක් හිමිදිරි උදෑසනක මනක් සුපුරුදු ලෙස සිය උදාසීන ජීවිතයේ එකම සුමිතුරා වූ පයිප්පය මුවට ළං කළේය. සිය පැරණි මිතුරකු වූ බවානි නිවස පසු කරමින් යනු දුටු මනක් මේ තරම් උදෙන්ම යන්නේ කොහිදැයි විමසීය. විශාල පොට්ටනියක් ඔහුගේ උරහිසෙහි විය.

“විශේෂ හේතුවක් නෑ මනක් අයියේ” බවානි අකමැත්තෙන් කීවේය.

“ඒකට කමක් නෑ දුම් ටිකක් උරල පලයන්” මනක් කීවේය.

බවානි පොට්ටනිය බිම තබා මනක්ගේ ගඩුගුඩාව අතට ගත්තේය.

‘මං චම්බාවට යනව මනක් අයියේ’ අවසානයේ බවානි කීවේය. මනක්ගේ හදවත පසාරු කරගෙන බවානිගේ වචන රිංගා ගියේය.

“අද පොළද?” මනක් වේදනාවෙන් ඇසුවේය.

“ඔව්. ඇයි හැම අවුරුද්දෙම එකම දවසටනේ තියෙන්නේ මතක නැද්ද?” බවානි ඇනුම්පදයක ස්වරූපයෙන් කීවේය.

“දැනට අවුරුදු හතකට කලින් අපි පොළට ගියා මතකද මනක්”

මනක් කිසිවක් නොකීවද ඔහුට දැඩි අපහසුතාවක් දැනුණි. බවානි ගඩුගුඩාව පසෙකින් තබා පොට්ටනිය කරට ගෙන මනක් දෙස නොබලාම නැගී සිටියේය. පොට්ටනියේ වූ විවරයකින් එළියට පැන තිබූ බටනලාව දෙස මනක් බවානි නොපෙනී යන තුරුම බලා සිටියේය.

පසු දින උදෑසන මනක් කුඹුරේ සිටියදී බවානි ඈතින් එනු දුටුවද, ඔහු ඉවත බලාගත්තේය. තවදුරටත් පොළ ගැන බවානි සමග කතා කරන්නට මනක්ට අවශ්‍ය නොවීය. එය එතරම්ම ඔහුට වේදනාකාරී විය. නමුත් බවානි කුඹුරේ වටයක් කැරකී විත් මනක් ඉදිරියෙන් බිම හිද ගත්තේය. බවානිගේ මුහුණ අගුරු කැබැල්ලක් මෙන් කලු වී ශෝකයෙන් බර වී තිබුණි.

“ගුලේරි මැරිලා” භවානි මෙසේ කීවේය.

“මොකක්”

“උඹ ආපහු බැන්ද බව අහල භූමිතෙල් හලාගෙන ගිනි තියාගෙන” මනක් අසීමිත වේදනාවෙන් ගොළු විය. තමගේ ජීවිතයම ගිනි ගන්නාක් මෙන් ඔහුට දැනුණි.

දින, සති, මාස ගත වී ගියේය. මනක් නිහඩව කුඹුරේ වැඩට ගියේය. කෑම බෙදා දුන් විට කෑවේය. නමුත් ඔහු සිතින් මිය ගොසිනි. ඔහුගේ දෙනෙතෙහි මෙන්ම මුහුණ පුරාම පැතිරී තිබුණේ හිස් බවකි.

“මම එයාගේ බිරිද නෙවෙයි. එයාට බදින්න සිද්ධ වුණ කෙනෙක් විතරයි. එයා මට බැදීමක් ආදරයක් නැහැ” දෙවන බිරිද සිය නැන්දණියට කීවාය.

නමුත් ඇයගේ කුසෙහි දරුවකු මෝරා ‍වැඩෙන විට මනක්ගේ මව ප්‍රීතියෙන් උද්දාමයට පත් වූවාය. ඇය මනක්ට මේ සුභාරංචිය කිවේ ඉමහත් බලාපොරොත්තුවෙනි. නමුත් ඔහු සිටියේ මව කී දේ නොවැටහුණු ආකාරයෙනි. ඔහුගේ දෙනෙත් තුළ වූයේ සුපුරුදු හිස් බවකි.

“ඔහුගේ මව තම ලේලිය සනසා පුතාගේ හැසිරීම දරා‍ගෙන සිටින්නට දිරි දුන්නාය.

“ඕව වෙනස් වේවි බලන්නකෝ තව ටික දවසක්” ඇය තම ලේලියට කීවාය.

දරුවා ඉපදුණු පසු මනක්ගේ මව අපරිමිත සෙනෙහසින් දරුවා නහවා හොදින් සරසා මනක්ගේ උකුල මත තැබුවාය. මනක් දරුවා දෙස හිස් බැලමෙන් බොහෝ වේලා බලා සිටියේය. කිසිදු හැගිමක් ඔහුගේ මුහුණේ දිස් නොවීය. නමුත්  හදිසියේ හටගත් බියකින් ඔහුගේ දෙනෙත පිරුණේය. ඔහු යටි ගිරියෙන් කෑගැසුවේය.

“මේකා ගෙනියපල්ලා” ඔහු උමතුවෙන් මෙන් කෑගැසුවේය.

“ගෙනියපල්ලා මේකව භූමිතෙල් ගදයි”




Nihal Ananda

unread,
Nov 9, 2023, 1:37:11 AM11/9/23
to ind...@googlegroups.com
දත් දොස්තර ...... සොහොන ...... භූමිතෙල් 

විදේශීය ලේඛකයන්ගේ කතා තුනක්......
ලංකාවේ ලේඛකයන්ගේ කතා සමග බලද්දී ...... සෑහෙන වෙනස් .
කෙටිකතා ලෙස ,ඉහත  කතා ..... විමසා  බැලීම වැදගත්.

Nissanka Rajapaksa

unread,
Nov 9, 2023, 3:58:08 PM11/9/23
to INDRAKA group
8

එළදෙන සහ සමාගම

පරශාර් කුල්කර්නි ගේ ද කව් ඇන්ඩ් කම්පැණි (The Cow and Company) කෙටි කතාවේ පරිවර්තනයකි (කට්ටකාඩුව බ්ලොග් අඩවියෙන්)

කෝ එළදෙන?” එහෙම ඇහුවේ කන්තෝරුවේ මැනේජර් මහත්තයා.

එළදෙන?” කනිෂ්ට නිලධාරියා ඇහුවා.

ඔව්වෙන මොකෙක්ද?”

ඕ...ආ....එළ...දෙ..න…!”

මම උඹට කිව්වේ දවස් දෙකකකට කලින්!”

ඔව්... ඔව්... මට අමතක උනේ නෑ….අද හවස් වෙනකොට... එයාට උත්තරේ ඉවර කරන්ඩ හම්බ උනේ නෑ.

නෑ. හවස් වෙනකොට නෙවෙයි දවල් දොළහ වෙනකොට...ඉස්සරහ ලොබියට!!”

මම හිතුවේ එයා කිව්වේ විහිලුවට කියලා…” කනිෂ්ට නිලධාරියා එහෙම කිව්වේ එයාගේ මේසෙ ගාවට යන ගමං.

එළදෙනක්?” එකවුන්ටන් මහත්තයා ඇහුවා.

ඔව්!!”

ඇත්ත එකෙක්?”

ඔව්...ඔව්..එළදෙනක්!...ඇත්ත එකෙක්!!..ජීවත් වෙන එකෙක්!!!...දැන් යං මාත් එක්ක.


ඉස්සරහ දොර ගාවට යනකොටම මෙන්න පොඩි ස්ටූල් එකක් උඩ වාඩි වෙලා නිවාඩු පාඩුවේ නහය හාර හාර ඉන්න කාකාස නට්වර්ලාල්!   

උඹත් වරෙන් අපිත් එක්ක!

පඩි පෙලේ බාගයක් දුර බහින කොට ඔෆිස් එක සුද්ද කරන එකා හැමදාමත් වගේ අව සිහියෙන් අතේ ඇඟිලි ගණන් කර කර පඩිපෙළ දිගේ උඩට නගිනවා.කාකාස අල්ලගත්ත මිනිහගෙ අතින්. සුද්ද කරන එකාට වගේ වගක් නෑ තමුන් දැන් යන්නෙ ඉස්සෙල්ල යමින් හිටපු දිහාවට වඩා හාත් පසින් වෙනස් දිසාවකට කියල. හතර දෙනාම දැන් එලියට බැහැල එළදෙනක්ව හොයනව!

මම හැමදාම දකිනවා මෙතැන එළදෙන්නු දෙන්නෙක් ඉන්නවා. අද නිවාඩු දවසක් වත්ද?”

උන් පොළ ගාවට ගිහින් වෙන්ඩ ඕන!”

පොළ තිබ්බේ ගිය සතියේ!!”

එහෙමනං අපි ඉස්ටේසම ගාව බලමු

ස්ටේෂන් එක තියෙන්නේ හැතැම්මකට එහායින්.

මම අද ලෙජර් ටික බැලන්ස් කරන්ඩ ඕන. පැස්ටොන්ජී මහත්තය කිව්වා ඒක අදම ඕන කියලා!!”. එයා අන්තිම ටික කිව්වේ ඔෆිස් එක පැත්තට අඩි දෙක තුනක් තිබ්බටත් පස්සෙයි.

මේ එළදෙන්නු හොයන්නෙත් පැස්ටොන්ජී මහත්තයටම තමයි. ඌව අද දවල් වෙනකොට ඕන කිව්වා!!” කනිෂ්ට නිලධාරි තුමා එහෙම කිව්වා.

ඔව්...ඔව්.. නෑ…. අපි ලන්ච් එක වෙලාවේ හම්බෙමුකෝ!!”

ඉතුරු තුන්දෙනා ගමන ඇරඹුවා. විඩෙන් විඩේට කාකාස හැරි හැරී ආපස්ස බැලුවා. ඊට පස්සේ අහස දිහා. අන්තිමට කනිෂ්ට නිලධාරියා දිහා.  තමන් පස්සෙන් එන කාකාස ටික ටික පහුවෙන හින්දම දෙපාරක් කනිෂ්ට නිළධාරියා කාකාස දිහා හැරිලා බැලුවට පස්සේ කාකාස තමුන්නේ නළලේ තිබ්බ දාඩිය ඉක්මනට පිහදාන්ඩ පටන් ගත්තා.

  වෙලාවේ ඔවුන්ගේ ඔලුවලට උඩින් පායලා බබලමින් තිබ්බ ඉර ඔවුන් හැමෝවම පාගලා යටකර දමමිනුයි තිබුනේ.

හැතැම්ම බාගෙකට පස්සෙත් - එළ දෙනක් ගැන හොයා ගන්ඩ පුළුවන් හැම දෙයක්ම වගේ ඒ කියන්නේ එළ කිරිමුදවපු එළ කිරිඑල කිරි වලින් හදපු බටර්එළ හරක් හංහරක් බෙටිඑල දෙනක්ව ඇඳලා තියන චිත්‍රමැටියෙන් අඹලා තියන එළ දෙනක්,  එළ දෙනක් වෙනුවෙන් කැප කරපු දේවාලයක්එළ දෙන්නුන්ගේ නං දාපු කඩඑළ දෙන්නු ගැන කතා වෙන මිනිස්සුඑළ දෙනක්ව බදින්ඩ හදාපු හැබැයි එළ දෙනක් නැති කරත්තයක්….  ඒ විතරක් නං බැරියෑ එක කකුළකින් හිටගෙන අත් දෙක එක්කහු කරගෙන එළදෙනට ඉංගිරිසියෙන් කියන කව් කියන වචනේ කව්... කව්... කිය කියා මතුරන සන්නාසියෙකුත් හම්බ උනා. ඒ උනත් අනේ පන පිටින් ඉන්න සම්පූර්ණ එළදෙනක්ව නං හොයා ගන්ඩ බැරි උනා. අර තනි කකුලෙන් හිටගෙන ඉන්න සන්නාසියා වටේ දුසිමක් විතර මිනිස්සු වට වෙලා හිටියා. මේ මොකද කියල අහපුවම කිව්වේ අර මනුස්සයා දැන් මාස අටකුත්දවස් නවයකුයි පැය පහක් අර විදිහටම ඉන්නවා කියලයි.

හුහ්...ඕක එච්චර ගණන් ගන්ඩ දෙයක් නෙවෙයි.  එහෙම කිව්වේ කනිෂ්ට නිලධාරියා. වරණාසි නුවර හැම පාරකම ඔහොම මිනිස්සු ඉන්නවා සමහරු ඉන්නේ ඔලුවෙන් හිටගෙන. කෝවිලේ ඉන්න අපේ මාමා කෙනෙක් කිව්වා අවුරුදු හයේ ඉඳලා ඔලුවෙන් ඇවිදින මනුස්සයෙක් ගැන!

දැන් එයාගේ වයස කීයද?”

මං දන්නේ නෑ. මගේ මාමා අවුරුදු හයකට කලින් මළා. මේ කතාව අහද්දී මාමගේ වයස අටයි. අර මිනිහා තාම ජීවත් වෙනවා. ඒ කියන්නේ අඩු ගානේ ඒ මනුස්සයාට අවුරුදු සීයකට වඩා වැඩි ඇති.

ඔයාට තේරුනේ නෑ...” සන්නාසියාගේ මාධ්‍ය ප්‍රකාශක තනතුරට තමන්වම පත් කරගත්තු කෙනෙක් කිව්වා. වැදගත් දේ මනුස්සයා නෙවෙයි. කපුටයි.

කපුටා?”

ඔව්. කපුටා ආවේ මාස දෙකකට කලින්. එයා සන්නාසි තුමාව අත ඇරලා යන්නෙම නෑ. දැන්  එතුමත් සන්නසිතුමා එක්කම ජප කරනවා. කපුටත් කව් කව් කියනවා හැබැයි ඉංගිරිසියෙන්. ටික දවසකට කලියෙන් ඉංගිරිස් කාරයෙක් මෙතෙන්ට ආවා. එයා සහතික කළා කපුටා ඔය කාක් කාක් ගාල කියන්නේ ඉංගිරිස් බාසාවෙන් කව් කියන එකම තමයි කියල!

ඔන්න ඒ වෙලාවේම පල්ලියේ ඝාන්ටාරේ ගැහුවා. වෙලාව දොළහයි. හරියට මෝහන නින්දකට පත් උනා වගේ තුන් දෙනාම සෙනගෙන් ඈත් වෙලා ඉස්ටේසම දක්වා ඔවුන්ගේ ගමන ඇරඹුවා.

අන්න එකෙක් ඉන්නවා!!!” කාකාස කෑ ගැහුවා. ඔහු දැකලා තිබ්බේ නුග ගහක ඇඟ අතුල්ල අතුල්ලා හිටපු කිරි සුදු පාට හොඳට ඇඟ පත ආරලා තිබ්බ එළදෙනක්! උගේ අං රතු පාටින් පාට කරලා තිබ්බා.

උඹට පේනවද උගේ අයිති කාරයාව?”

ඌ දඩාවතේ යන එකෙක් වෙන්ඩ ඕන. මොකද ඌව බැඳලා නෑ

උගේ බෙල්ල වටේ ගෙජ්ජියක් තියනවා

කමක් නෑ අපි ඌව හොරකං කරනවා නෙවෙයි නේ. සුටුස් ගාල ඌව ආපහු ගෙනත් දාන්ඩ පුළුවන් නේ”.

කාකාස ළඟ තිබ්බ පඳුරකින් කොළ තියන අතු කෑලි කීපයක් කඩා ගත්තා. මේ ඇද්ද?”

අරකි ඕව කන එකක් නෑ!!” එහෙම කිව්වේ ඔෆිස් එක සුද්ද කරන එකා.

ඌ කයි. අනික තණකොළ හොයන්ඩ වෙලාවකුත් නෑ

තමුන්නේ ඇස් ඉස්සරහ නොදන්න කාකාසයෙක් වනවන අතු කෑලි දිහා එළදෙන බැලුවා. ඒත් ඌ කට ඇරියේ අර මනුස්සයා ඒ අතු කෑලි නහයේ ගාවන්ඩ පටන් ගත්තහම කිචි කැවිච්ච හින්දයි. හැබැයි කට ඇතුලට ගත්තු ගමන් ඒ කොළ ටික කාරලා බිමට විසි කරන්ඩ එළදෙන අමතක කලේ නෑ.

මම කොහොමද මේ ලණුව බඳින්නේ?”

උගේ බෙල්ල වටේ….. උගේ කං වලට උඩින් ගන්ඩ.

තුන්වැනි මැනේජර් ලණුව මල් මාලයක් වගේ හදා ගෙන ඉස්සරහට ගියා. ලණුව ගෑ වෙනවත් එක්කම එළදෙන ඔලුව ගසා දාපු හිංදා ලණුව අතෑරිලා ගොම ගොඩක් උඩ වැටුනා. තුන්වැනි මනේජර්ට නිකම්ම ඊ....!!! ගෑවුනා.

ඔබ තුමාල ඒවා කනවා නේද?” කාකාස ඇහුවා.

ඒත් උඹලා අපේ එලදෙන්නුන්ව කන විදිහට නෙවෙයි!!” කියල තුන්වැනි මැනේජර් උත්තර දුන්නා.

කොහොමින් කොහොම හරි යන්තං එළ දෙනගේ බෙල්ල වටේ ලනුව පටලව ගන්ඩ කට්ටියට පුළුවන් උනා. ඔය අතරේ කාකාස පාරෙන් එහා පැත්තේ කෝවිලේ ගේට්ටුව ගාවට දිව්වේ එතන තණකොළ විකුණන අයගෙන් තණකොළ ටිකක් ගන්ඩ.

කෝවිලේ තාප්පෙට හේත්තු වෙලා තණකොළ විකුණන වයසක ගෑනු කෙනා පයිස දෙකයි කියපි.

ඔය කෝවිලේ තාප්පේ තියනවා නේදඒක බැලු බැල්මට තාප්පයක් කියල පේන්නේ නෑ. එක එක විදිහට තිබ්බ අඩි තුනක් විතර උස ගඩොල් ගොඩක් විතරයි ඒක. කතාව නං කියන්නේ පාර පළල් කරනවා කියා කියා කෝවිලේ ඉඩම එක එකා අල්ල ගන්න එක වලක්වන්ඩ බ්‍රාහ්මණ පූජකයෝ දාපු උප්පරවැට්ටියක් කියල මේ ගඩොල් ගොඩ. අනික් පැති තුනේ මෙහෙමවත් එකක් නෑ. ඔන්න බ්‍රාහ්මණ වරුන්ගේ අරපිරිමැස්ම!

මේ…. මෙතන තියන පයිසාව ගන්ඩ. ඔයා කොහොමත් බිස්නස් කරනවා නෙවෙයි නේ

ඒක මගේ වැඩක් නේ. මම කීයක් වත් අඩු කරන්නේ නෑ!.

මේ හම්බෙච්ච දේ ගනින් නාකි ගෑණියේ. හෙට වෙනකොට මේ තණකොළ ටික මැලවිලා තියෙයි උඹේ මූණ වගේ කාකාස එහෙම කිව්වේ මහලු ගැහැණිය වාඩි වෙලා හිටපු පං පැදුරු කෑල්ලට කාසියක් විසි කරන ගමන්.

දැන් ඔන්න බෙල්ලේ ගෙජ්ජියක් බැඳ ගත්තු එළදෙන, මිනිස්සු තුන් දෙනා පස්සේ වැටිලා යනවා. ඔෆිස් එකේ පඩිපෙළ ගාවදි නං එළදෙන එක පාරටම නැවතුනා. කාකාසයි සුද්ද කරන එකයි දෙන්න එක්කහු වෙලා එළදෙන ව තල්ලු කරන්ඩ ගත්තා.

මේ මොකද වෙන්නේකොහෙද මේ එළදෙනව අරගෙන යන්නේ එතනට දුව ගෙන ආපු සෙකුරිටි කාරයා ඇහුවා.

තොම්සන් සර් ගාවට. මූ අඩිය හොල්ලන්නෙ නෑනේ එහෙම කිව්වේ කාකාස.

සෙකුරිටි කාරයා අතේ තිබ්බ බැටන් පොල්ලෙන් එළදෙනගේ පස්ස පැත්තට හයියෙන් ගැහුවා. මෙන්න මූ අපූරුවට පඩි නගිනවා. හැබැයි දෙවැනි තට්ටුවේ ලොබියට යනකොට ඌ කාකාස ගේ කමිසෙයි බිමට එළලා තිබ්බ රතු පාට කාපට් එකෙයි දෙකේම චූ කරලා ඉවරයි. ඒක දැකපු තුන්වැනි මනේජර්ට හයියෙන් හිනා ගියා.

ඔබතුමාට නං මේක ප්‍රශ්නයක් නෑ. ඔබතුමන්ලා එළ මුත්‍රා බොනවා නේද?” කාකාස ඇහුවා. එහෙම ඇහුවේ කමිසේ ගලවමින් වැසිකිලිය පැත්තට යන ගමන්.

තුන්වැනි මැනේජර් කට පියා ගත්තා. ඒක පරණ විහිළුවක්.

ගරු කළමනාකාර අධ්‍යක්ෂතුමා හොඳට හරි බැරි ගැහිලා මේසේ  උඩ කකුල් දෙක තියා ගෙන වාඩි වෙලා හිටියා.

අපේ චුවිංගම් එකක ගාන කීයද පැස්ටොන්ජීපයිසා එකක්?” ඔහු ඇහුවේ බස්තම වටේ කරකවමින්.

ඔව් සර්. පයිසා එකයි. හරියටෝම බුලත් විටක ගානමයි. 

හිංදුමුස්ලිම්දුප්පත්පොහොසත් ඕන කෙනෙක් කනවනේ බුලත් විට….. ඔබතුමා දන්නවද බුලත් විටක ගාණ?”

නෑ….. මම කවදාවත් ඒවට කැමති නෑ

සර්ට කියන්ඩ මාත් කැමති නෑ සර්. හැබැයි ඒකට අර බෙනර්ජී. හැම වෙලාවෙම බුලත් විට කාලා අර කොරිඩෝ එකේ කෙළ ගහනවා

…. අර අප්‍රසන්න ගඳ ගහන රතු පාට තිත් තිත් තියෙන්නේ ඒකදමං හිතුවා එකත් එකටම ඒ බෙනර්ජී තමයි කියලා.

ඔව් සර්…. ඒ වැඩේ කරන්නේ එයා තමයි!!”

මම ඉස්සරෝම බුලත් විටක් කාපු දවසේ මගේ පෙනහළු පුපුරන්ඩ වගේ ආවා

ඔබතුමා කෙළ ගහන්නේ නැතුව ඔක්කොම ගිලින්ඩ ඇති!”

උඹ දන්නවනේ අපි….. ඉංග්‍රීසි කාරයෝ..අපි කවදාවත් කෙළ ගහන්ඩ පුරුදු වෙලා නෑ. තේරුනාද?”

හා..හා...ඔවුන් කවදාවත් පුරුදු වෙන එකකුත් නෑ….. ඔබතුමා දන්නේ නෑ බුලත් විටක ගාණ?” මැනේජර් මහත්තයා ආයෙත් ඇහුවා.

නෑ...මට කියපං..ඒ වෙනකොට එතුමා බස්තමෙන් මේසෙට තට්ටු කරන්ඩත් පටං අරන්. රට්ට..ටට්ට...ටා.. රට්ට..ටට්ට...ටා..

පයිසා එකයි සර්. අපිට තේයි බුලත් විටයි එක්ක තරඟ කරන්ඩ වෙලා තියනවා. හැබැයි චුවිංගම් වල වාසි වැඩියි.

ඇයි ඒදිගටම බස්තෙමෙන් තට්ටු කරමින් එම්. ඩී. ඇහුවා. දැන් ඒ තට්ටු කිරිල්ලෙන් මොකක්දෝ තාලෙකුත් බිහිවෙලා.

ඒක සංධ්වනියක්ද සර්?

මං ප්‍රාර්ථනා කරනවා එහෙම වෙන්ඩ කියලා. මෙහෙට ඇවිල්ලා ඉන්න එකෙන් තමුන් කැමති දේවල් කරන්ඩ කෙනෙකුට තියන අවස්ථාව නැතිවෙලා යනවා. මොකද්ද උඹ කිව්වේ?

මං කිය කිය හිටියේ සර් දවසක් මම ගෙදර යන ගමං එළවලු මාර්කැට් එකේ පොඩ්ඩක් නතර උනා. මට එහා පැත්තේ හිටියේ බද තඩි මිනිහෙක් බොම්බේ සමාචර් පත්තරේ කියව කියවා. ඒක ඉංග්‍රීසි පත්තරයක් තරමටම හොඳ.....

මොකක් ගැනද උඹ කියන්ඩ යන්නේ?

ඔ..ඔව්..ඔව් සර්..ඔන්න ඉතින් එයා මහ හයියෙන් පත්තරේ කියවනවා හරියට...

මට උඹේ වැල් වටාරං අහං ඉන්ඩ වෙලාව නෑ පැස්ටොන්ජී

පොඩ්ඩක් ඉන්ඩ සර් මං කතාවට එනකල්...මෙන්න එක පාරටම මේකා පත්තරේ සිහියෙන් ඉඳ ගෙන ගැහුවනෙ කෙළ තැම්බක් මගේ අලුත්ම ලෙදර් සෙරෙප්පු දෙක උඩට. බැල්ලිගෙ පුතා...අනේ සොරි සර් මගේ අතින් වැරදි දෙයක් කිය උනානං ඌට සිරිත් විරිත් කියලා කිසි දෙයක් නෑ

ඉතිං?

හැබැයි ඌ කකා හිටියේ චුවිංගම් එකක් නං කිසි දෙයක් වෙන්නේ නෑ

චුවිංගම් වල දුම්කොළ නෑ පැස්ටොන්ජී!!

ඒ උනාට දුප්පත් මිනිස්සු ඒක කයි!

ඒ ඇයි කියල කියනවද?

උං ඉන්නේ බඩගින්නේ නං හුග වෙලාවක් හප හපා ඉන්ඩ පුළුවන් රස දෙයක් තියෙන්ඩ ඕන
ඉතිං බුලත් විට තියනවනේ

හැබැයි රතු පාට බුලත් කෙළ කට දෙපැත්තෙන් පෙරිලා ඇවිත් ඒ අයගේ තොලුයිඇඳගෙන ඉන්න රෙදියි ඔක්කොම ජරා කරනවා. රෙදි කිලිටු කරං ගියාම ගෙදර උන්දැට තරහ යනවා. උන්දැට තරහ ගියාම මිනිහට ගහනවා. ඒ කරදර මොනවත් නැතුව මුළු දවස පුරාම චුවිංගම් හප හපා ඉන්ඩ පුළුවන්නේ. එතකොට හැමෝටම සන්තෝසයි. අනික බුලත් විට කනකොට බඩගිනි එනවා වැඩියි. අනික ඒක දිරවලා යනවනේ සර්.

ඒක? මොනවා වෙනවා??

දිරවනවා සර් දිරවනවා...ආමාශයේ...

ඔව්..ඔව්..හැබැයි මම හිතන්නේ චුවිංගම් වලට වැඩියෙන් කැමති වෙන්නේ පොඩි ළමයි. මහ මිනිස්සු නෙවෙයි. අපිට පොඩි ඇඩ්වර්ටයිසින් බජට් එකක් තියනවා මේකට ගන්ඩ පුළුවන්. ඇයි උඹ ඒක පාවිච්චි නොකරන්නේඉස්කෝල කීපයක් ළඟ බෝඩ් කීපයක් ගහන්ඩ. ඉස්සරෝම දහයක් දොළහක්. හැබැයි ඒ ළඟ කඩවල් වලට අපි චුවිංගම් දාලා පුරවලා තියෙන්ඩ ඕන බෝඩ් ගහන්ඩ ඉස්සර. මතක තියා ගන්නවා.

සර් අපි මින්ට් රහ වෙනුවට බුලත් හපේක රහ තියන චුවිංගම් එකක් හදලා තියනවා. කව්ද කැමති වෙන්නේ මින්ට් රහ තියන දෙයක් සල්ලි දීලා ගන්ඩ ගෙදරින් හොරකං කරලා කන්ඩ පුළුවන් කම තියෙද්දී?

මෙතෙන්දි බලපාන්නේ රහ විතරක් නෙවෙයි පැස්ටොන්ජී. වැදගත් වෙන්නේ ඒ රහ දෙන විදිහ

එහෙමනං සර් අයි අපි බුලත් විට රහ තියන චුවිංගම් එක එපා කියන්නේ?

ආ..අනික අර පරණ ලේබල් එක අහක් කරා නේද මතක ඇතුව?

ඇයි සර්මගේ මතකේ ගැන කවුරු හරි සර්ට කේළමක් කිව්වද?

අහක් කරාදඉවත් කරාද?

සමාවෙන්න සර්. ඔව් සර්. මම ඒක කළා.

අලුත් ලේබල් එකේ චුවිංගම් වල අමුද්‍රව්‍ය ගැන පැහැදිලිව දාලා තියනවද?

ඔව් සර්!

'සත්ත්ව නිෂ්පාදන කිසිවක් අඩංගු නැත. නිර්මාංශ භක්ෂකයන් සඳහා සුදුසුයිකියලා තියනවද?

ඔව් සර්!!

හොඳයි. ඒක පෝස්ටර් එකෙත් ගහන්ඩ. ලේබල් එකේ විතරක් නෙවෙයි.

සර් ඔය අමතර දේවල් දාන්ඩ ගියොත් පෝස්ටරේ ඉඩ හුගක් අපතේ යනවා. ලේබලේ ඒක පැහැදිලිව ගහලා තියනවා.

සිරස්තලය මොකක්ද?

"එළදෙන අපේ ගමේ - කැමති රස ඇති චුවිං ගමේ"

තාමත් මට නං පේන්නේ ඒක ගැලපෙන්නේ නෑ කියලා....

මාව විශ්වාස කරන්ඩ සර් මේ ගැන. මේ ගැන හිතන්ඩ මම සෑහෙන වෙලාවක් යෙදෙව්වා. අපේ මිනිස්සු ඕන දෙයක් පිලි ගන්නවා එල දෙනකුට සම්බන්ධ නං. මේක රටේ පළවෙනි චුවිංගම් එක!

මොකක්ද ඒ ගඳඑම්. ඩී. ඇහුවේ වටපිට බලන ගමන්.

සර් මම ගෙනාව යමක් එළදෙන තමයි අපේ චුවිංගම් ප්‍රසිද්ධ කරවන්ඩ හොඳම තානාපතියා කියලා  ඔබතුමාට ඔප්පු කරල පෙන්නන්ඩ

මොකක්කොහෙද?

මේ අපේ ලොබියේ සර්!

මැනේජින් ඩිරෙක්ටර් මහත්තයා එයාගේ කාමරෙන් එලියට ආවා. එයා දිහා ලොබියේ ඉඳන් බලාගෙන හිටියේ ලොකු තෙතබරිත ඇස් සහ ඒ පැත්තට මේ පැත්තට කට හරවමින් යමක් හපමින් හිටපු එළදෙන.

මේ නාඩගම මොකද්දමේක විහිළුවක්ද පැස්ටොන්ජී?

නෑ සර්. මම එක්ව ගෙනාවේ සර් වෙනුවෙන්මයි! මට ඔබතුමාට පෙන්නන්ඩ ඕන උනා කොහොමද ඌ හපයක් කන්නේ කියල. හරියටෝම චුවිංගම් එකක් කනවා වගේමයි. අපේ පෝස්ටර් වල ගහන්ඩ කියාපු බඩුව! මම උගේ කට ඇරවලා පෙන්නන්නංකෝ

නට්වර්ලාල් උගේ කට අරිනවා! මැනේජර් මහත්තයා අණ කළා.

ඌ හපාවි!!??!

එළදෙන්නු හපන්නේ නෑ හරකෝ. උගේ කට අරිනවා!

කාකාස තමුන්ගේ ඇත වටේ රෙදි කෑල්ලක් ඔතාගෙන වැඩේට ලෑස්ති උනා.ම්හ්..එළදෙන නෙවෙයි හෙල්ලුනේ වත්. එළදෙනගේ කෙළ කාකාස ගේ අත දිගේ ගලාගෙන කිහිල්ලට ගියා. මනුස්සයට කිචි කැවුන හිංදා දඟලන්ඩ ගත්තා.

දැන් ගහනවා පොටෝ එක! මැනේජර් මහත්තයා කිව්වේ එළදෙනව ෆොටෝ ගන්ඩ ඇවිත් හිටපු කැමරා කාරයාට

මෙතන හරි කළුවරයි. පොටෝකාරයා කිව්වා. මිනිහත් නිකං පිංතූරයක් වගේ චරිතයක්. මේ වෙන වැඩේ ගැන කිසි කැමැත්තක් ඒ මනුස්සයට නොතිබ්බ වගේම පොටෝ ගන්ඩ කිසි සූදානමකුත් උන්දැගෙ තිබ්බේ නෑ.

නට්වර්ලාල් ගෙනෙන් ටෝච් එකක්!

කාකාස ඉස්ටෝරු කාමරේට දුවල ගිහිල්ල ටෝච් එකක් අරං ආවා. මැනේජර් මහත්තයා එළදෙනගේ කට ඇතුලට ටෝච් එක ගැහුවා. එතකල් එළදෙනගේ කට ඇරලා අත් දෙකෙම්ම අල්ලගෙන ඉන්ඩ උනෙත් කාකාස ටම තමයි.

නියමයි! පොටෝකාරයා කිව්වා.

මට ඕනේ ඌ කට බලියාගෙන වගේ ඇරගෙන ඉන්න විදිහට ගන්ඩ මැනේජර් මහත්තයා කිව්වා. ඊ ගාවට එම්.ඩී. පැත්තට හැරිලා මෙහෙම කිව්වා. සර් එළදෙන දවස පුරාම මොනවා හරි හප හප තමයි ඉන්නේ. හැම හින්දුවෙක්ම එළදෙනට ආදරෙයි. ඒ හිංදා අපි එළදෙනක්ව පොස්ටරේට දැම්මොත් උන් කැමති වෙයි අපේ චුවින්ගම් වලට!

ඔහු ආයෙත් ටෝච් එක ගැහුවා. එළදෙන කලබල ගතියෙන් ඔලුව වැනුවා. ඊ ගාවට ඌ දුවගෙන ගියේ පොටෝ කාරයයි මනුස්සයාගේ අනික් පොටෝ ගහන බඩු ටිකයි තිබ්බ තැනට!

ඉක්මනටම අරූව මෙතනිං අරං යනවලා! එම්.ඩී. මහත්තයා කෑ ගැහුවා. මට හුස්ම ගන්නවත් බෑ. මේ ගන්දස්සාර ජරාව අහක් කරනවා මෙතනින්! මෙතන කුණු බිංදුවක් නැති වෙන්ඩ හොඳට සුද්ද කරනවා අද දවස ඉවර වෙන්ඩ ඉස්සර!! එහෙම කියල එම්.ඩී. මහත්තය ගෙදර යන්ඩ ගියා.

දැන් තුන් දෙනාම එක්කහු වෙලා එළදෙනව අදිනවා පල්ලෙහාට යන්ඩ. එළදෙන ඔලුව ගස්සපු ගමං තුන්දෙනාම වැටුනා බිමටම. මෙහෙම තුන් දෙනාම බිමට වට්ටපු එළදෙන ඊගාවට හැරුනේ ෆයිල් කාමරේ දිහාවට.
ඔය අතරේ තමයි කාකාසට මතක් උනේ එදා හවස ලියුම් දැම්මේ නෑ නේද කියලා. මිනිහ සුටුස් ගාලා ගියා ලියුම් කාමරේට. ගත්ත ලියුම් ටික. ඊ ගාවට කුස්සියට දුවගෙන ගියේ මනුස්සයාගේ සෙරෙප්පු දෙක දා ගන්ඩ. ආ...මුද්දර ගහන්ඩ සල්ලි එපැයි...කාකාස දුවගෙන ගියා එකවුන්ටන් මහත්තයා ගාවට. මුද්දර සල්ලිත් ඉල්ලගෙන පන එපා කියල හැතැම්ම බාගයක් දුර තියන තැපැල් කන්තෝරුවට දුවලා යනකොට ඒක වහන්ඩ තව ඉතුරු වෙලා තිබ්බේ විනාඩි දෙකයි! ලියුම් ටික දාලා ආපහු කාකාස ඔෆිස් එකට එනකොට හවස පහ පහුවෙලා. ඔෆිස් එක හිස්. කාකාස දැක්කේ ෆයිල් කාමරේ දොරට හේත්තු වෙලා බිම ඉඳගෙන හති අරින මැනේජර් මහත්තයා. පොටෝ කාරයත් එක්ක වෙච්ච සංගදියෙන්  පස්සේ එළදෙන පස්සේ දුවපු මැනේජර් මහත්තයාට පුළුවන් උනා ෆයිල් කාමරේ ඇතුළට එලදෙනවා දක්කලා පිටිං ලොක් එක දාන්ඩ. ආය එළදෙන එළියට එනව බොරු!


ඔක්කොම හරිද සර්කාකාස ඇහුවා.

මෙහෙ වරෙන් මෝඩයා!

දෙයියනේ එළදෙන?!

මැනේජර් මහත්තයා දොර ඇරපු ගමන් ගොම ගඳ ඔෆිස් එක පුරාම පැතිරුනා. කාමරේ මැද්දේ එළදෙන. හරියට ලැජ්ජාවෙන් වගේ ඌ කකුල් දෙක වකුටු කරගෙන ඉඳගෙනයි හිටියේ. කටේ තිබ්බේ දුඹුරු පාට ෆයිල් කවරයක්!

අ..අ..අර..මොන ෆයිල් එකදමැනේජර් ඇහුවා

මං දන්නේ නෑ!

ඇදලා ගනිං ඒක!

කාකාස එළදෙන බාගෙට කාලා තිබ්බ ෆයිල් කවරේ ඇදලා ගත්තේ අමාරුවෙන්. මැයි මාසය සඳහා අවශ්‍ය ලිපි -පළමු කාණ්ඩය අර ෆයිල් එකේ උඩින් ගහලා තිබ්බා.

ආ..ඕක ගිය අවුරුද්දේ ෆයිල් එකක්. කවුරුවත් ඕක ගැන අහන එකක් නෑ. මූව එළවලා මෙතන සුද්ද කරලා දානවා. මට කමක් නෑ මේකි එළදෙනක් උනත්!

මෙහෙම කියාගෙන මැනේජර් මහත්තයා එළදෙන පැත්තට ගියා. එක කකුළකින් එළදෙනට අනින ගමන් ඔහු මෙහෙම කිව්වා!

නැගිටපන් ජරා සතා!!

එතකොටම අනික් කකුළ ගොම තැම්බක් උඩ තියවෙච්ච හිංදා අර ගොම සහ එළ හුජ්ජ ගොඩේ මැනේජර් මහත්තයා පත බෑවුනා.කාකාස කට වහ ගත්තා. එළදෙන නැගිට්ටා. බිම වැටිලා ඉන්න මැනේජර් මහත්තයා දිහා එළදෙන බැලුවා. දෙන්නගේ ඇස් තත්පර කීපෙකට එකිනෙක හමු උනා. එළදෙනට ලැජ්ජා හිතුනා වගේ ඌ බෙල්ල අනික් පැත්තට හරවා ගත්තා. මැනේජර් මහත්තයා පහු කරගෙන කාමරේ දොර දිහාටත් එතැනින් පඩි පෙළ දිගේ පහළ තට්ටුවටත් එළදෙන බහින්ඩ පටං ගත්තා. කාකාස එළදෙන පාරට බැහැලා නොපෙනී යනකල්ම ඌ දිහා බලාගෙන හිටියා. 

බලන්ඩ සර් කොච්චර මොලේ තියන සතෙක්දඌ දන්නවනේ පාර හොයාගෙන යන්ඩ!

මෝඩ හරකෝ එක දොරයි නේ ඇරලා තිබ්බේ! ගෙනෙං මට තුවායක්!

ඒ උනත් සර් ඌට ඕනනං තල්ලු කරලා අනිත් දොරවල්  ඇරගන්ඩ පුළුවන්කම තිබ්බනේ!

අපි දැන් මොකද කරන්නේමැනේජර් මහත්තයා ඇහුවා

ගෙදර යං?

ෆයිල් එකට මොකද කරන්නේ?

මට මරු අදහසක් ආවා. අපි මීයෝ දෙතුන් දෙනෙක් අල්ලලා කාමරේ ඇතුලට දාමු. එතකොට අපිට කිව්වැකි ෆයිල් එක මීයෝ කාලා කියලා!! කාකාස කිව්වා.

මීයෝ තව ෆයිල් හුගක් කෑවොත්?

එහෙම නං අපි මීයෝ කූඩුවක දාලා තියලා කියමු හොඳ වෙලාවට අපි උංව අල්ලගත්තා කියලා. කොහොම උනත් ෆයිල් කාමරේ පැත්තේ කවුරුවත් එන්නේ නෑ නේ!

බෙනර්ජී එයි!?

හරි. මම හෙට බෙනර්ජී මහත්තයට කියන්නං මම මීයෙක් දැක්කා කියලා. එක්කොත් ඔබතුමා කියන්ඩ මීයෙක් දැක්කා කියලා. මං මොනවා කරන්ඩද ෆයිල් කාමරේට ඇවිත්?

නෑ උඹම කියපං! මැනේජර් මහත්තයා කිව්වා.


එකවුන්ටන් මහත්තයා ජනේලෙන් එහා සාරි කඩේ දිහා බලාගෙන ඉන්න කොට කාකාස එයා ලඟට කිට්ටු උනා.

බෙනර්ජි සර්...

එකවුන්ටන් තාම පාරේ එහා පැත්තේ සාරි කඩේ දිහා බලාගෙන. ටවුමේ අලුත් නෝනලා අතරේ මේ සාරි කඩේ ප්‍රසිද්ධයි.  ඒ අලුත් නෝනලා කොහෙන් ආවද කොහේ යනවද හිතා ගන්ඩත් බෑ. මූදු හුලගෙන් වැනෙන ඒ අයගේ දිගු නොබැඳපු වරලස...නිරුවත් බඳ පෙදෙස....මේ සියල්ල උලුප්පා පෙන්නන අත නැති හැට්ට...!! හරියට ධුරන්ධර් ගේ සිත්තමකින් මිදිච්ච රූප වගේ! ඔහු ඉන්නවද මේ ජනේලයක් පිටුපස එහෙම නැත්තං කඩයකට වෙලා මේ අප්සරාවන් අඳිමින්?

එකවුන්ටන් මහත්තයාට හොඳටම විශ්වාසයි රාජා රවී වර්මා තමයි රටේ හිටපු හොඳම චිත්‍ර කාරයා කියලා. ඒත් ගිය සිකුරාදා එම් ඩී මහත්තයා කාටදෝ "දැන් ධුරන්ධර්රවී වර්මාට වඩා හොඳයි" කියලා කියනවා එකවුන්ටන් මහත්තයා අහගෙන.ඊගාව දවසේ කළා පාසැලේ තිබ්බ ධුරන්ධර් ගේ ඉන්දියාවේ කාන්තාවෝ චිත්‍ර ප්‍රදර්ශනේ බලන ගමන් එකවුන්ටන් මහත්තයත් ඒ කතාව පිලි ගත්තා.

බෙනර්ජි සර්....!!

හ්ම්...ඒ ගමන මොකද්ද?

නෑ මොකුත් නෑ...කල්කටාවේ මහාමාරිය වසංගතේ ගැන තොරතුරු නැතෙයි?

කල්කටාවේ මහාමාරිය වසංගතයක් නෑ..කවුද කිව්වේ?

මම නිකං ඇහුවේ. මං ඊයේ දැක්කා ෆයිල් කාමරේ මීයෙක් ඉන්නවා. ඉතිං මං හිතුවා...

මේ බිල්ඩිමේ මීයෝ නෑ!

මං මගේ ඇස් දෙකිම්ම දැක්කා....!!

කාකාස ෆයිල් කාමරේට දුවලා ගිහිං ෆයිල් එකක් අරං ආවා.

බලන්ඩකෝ සර් මේ ෆයිල් එක. මීයෙක් මේකෙන් බාගයක්ම කාලා...!!

කෝ බලන්ඩ...මේ මොකද මේක තෙත?

න්...නෑ නෑ එහෙනං මීයෙක් වෙන්ඩ බෑ..... මොකක් හරි ලීක් එකක් ඇති!

මොන ලීක් එකක්ද?

වතුර!

ෆයිල් කාමරේට අනෝරා වැස්සක්  වහිනවද?

අනෝරා වැස්සක්...!!!එකවුන්ටන් මහත්තයා ආපහු ඇහුවා. 
ඔහු ඒ වචනේ ඉගෙන ගත්තේ ගිය සතියේ. ඊට පස්සේ එයා ඒ වචනේ ලියා ගත්තා ඩයරියේ. එයා එක දවසකට එක පිටුවක් ඩයරිය ලියනවා.

අනෝරා වැස්ස
තේරුම - තද වැස්ස
වාක්‍යය - අද නුවරට අනෝරා වැසි ලැබිණි

එහෙම වැස්සකින් ලොකු හිලකුත් හැදිලද වහලේඑකවුන්ටන් මහත්තයා එහෙම ඇහුවේ ෆයිල් කාමරේ පැත්තට යන ගමන්.

කාකාස ෆයිල් කාමරේ දොර හරහට හිට ගත්තා. නෑ. ඔක්කොම හරි සර්. මං හිතන්නේ වැරදිලා මම ඒක කාලද කොහෙද!!??

උඹ බීලද නට්වර්ලාල්?

ෆයිල් කාමරෙන් ආපු ගඳ තාම නැතිවෙලා නෑ. මැනේජර් මහත්තයා ඉක්මනට එතෙන්ට ආවා. එයා දැක්කහම තමයි කාකාස ගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ.

නට්වර්ලාල් අර එළදෙන මෙතැන දාලා ගියාද උඹඑකවුන්ටන් මහත්තයා ඇහුවා.

කාකාස මැනේජර් මහත්තයා දිහා බැලුවා. ඊට පස්සේ එකවුන්ටන් මහත්තයා දිහා. ආයෙත් මැනේජර් මහත්තයා දිහා බැලුවා.

උඹේ දවසක පඩි කපනවා. එකවුන්ටන් මහත්තයා කිව්වා. අර ෆයිල් එක හදලා තියපන්!!!

අනේ එපා සර්...පස්ටොන්ජි සර් අනේ මේ බලන්ඩකෝ කාකාස අසරණ විදිහට විරෝධය පෑවා.

පස්ටොන්ජි සර්පස්ටොන්ජි සර් මේ පාර නං උඹව බේර ගන්නේ නෑ. බෙනර්ජි මහත්තයා හරි! මැනේජර් මහත්තයා කිව්වා. ඒ දෙවෙනි පාරටත් කාකාස දිහා බලලා ඇහැක් ගහන ගමං. 

කාකාස මොකුත් කිව්වේ නෑ. එයා තරහින් වගේ මොන මොනවදෝ කුටු කුටු ගාන ගමන් ෆයිල් කාමරේ පැත්තට ගියා.
 

මැනේජර් මහත්තයා එදා හවස ගෙදර යද්දී දොර ගාවදි දැක්කා අලුත් අසල්වැසියාගේ ගෙදර නාම පුවරුව දැක්කා. A.K. Hedge ඒ පුවරුවේ ලියල තිබ්බා. ඒ....කේ....හෙ..ජ්! අප්පද බොල සුද්දෙක්!

පෙර්සිස් ඔයාට හම්බ උනාද එහා ගෙදරට අලුතෙන් ආපු කට්ටිය?

නෑ...මේ මොකද ගඳ ගහන්නේ?

ඒක දිග කතාවක්...

කලිසමේ චූ දාගත්තද?

නෑ මම චූ ගොඩක් උඩ වැටුනා.

වැටුනා. ඔච්චර මෝඩ වැඩ කරන්නේ කොහොමද මනුස්සයෝ?

ඒක මේ මගේ වැරැද්දක් නෙවෙයි. එළදෙනක් ගේ...

බිම බලාගෙන නෙවෙයිද ඇවිදින්නේඋඩ බලාගෙන යන්ඩ ඇති කොහෙද ඉතිං! ඔයාට අම්මපා එලදෙනක්වත් පේන්නේ නැද්දඑළදෙනක් අලියෙක් විතර ලොකු වෙලත් ඇස් පේන්නේ නැද්ද?

මේ ඒකෙන් වැඩක් නෑ ඔයා අල්ලපු ගෙදර කට්ටියව දැක්කද කියන්ඩකො!

නෑ...!

ෂුවර් එකට ලංඩන් වලින් ආපු සුද්දෙක්!

ඔයා කොහොමද දන්නේ?

මං දන්නවා. මේ ඔයා හදන අර ස්පෙෂල් වියන්ජනයක් හදන්ඩකෝ හෙට. මම ඒකෙන් ටිකක් අරගෙන අල්ලපු ගෙදරට ගිහින් මාව අඳුන්වලා දෙන්නං. මේ අර යකඩ බාජනේ උයන්ඩ එපා හොඳද?

ඊගාව දවසේ පෝසිලේන් භාජනෙක දාපු වියන්ජනේ ඇලුමිනියං කවරෙකින් වහගෙන මැනේජර් මහත්තයා අල්ලපු ගෙදරට ගියා. ඔය ඇලුමිනියං කවර ටික මාස අටකට කලින් බාප්පගේ පුතා ගෙනැල්ලා දුන්නට පස්සේ ඔය අදමයි පාවිච්චියට ගත්තේ. එයා ඒ බාජනේ වටේට සුදු පාට රිබන් එකකුත් බැන්දා. අල්ලපු ගෙදරට යන්ඩ ඉස්සරලා දෙපාරක්ම ටයි එක හරියට දා ගත්තා නේද කියල අල්ලලා බලන්ඩත් එයා අමතක කලේ නෑ.

මට හෙජ් මහත්තයාව හම්බ වෙන්ඩ පුලුවන්ද?...එහෙම අහන එක හරි මදි වගේ...මට පුලුවන්ද හෙජ් මහත්තයා හමුවීමේ සතුට ලබා ගන්ඩ?..ම්හ්..ඒකත් අවුල් වගේ...කරුණාකර මට හෙජ් මහත්තයා හම්බ වෙන්ඩ පුලුවන්දඑහෙම නැත්තං..මම ආවේ හෙජ් මහත්තයා හම්බවෙන්ඩ....මම ආවේ අපේ අලුත් අසල්වැසියා හෙජ් මහත්තයා හම්බවෙන්ඩ...ඔහු ගැන හුගක් හොඳ දේවල් මම අහලා තියනවා. කොහොමද ඔබේ සැප සනීප?සතුටුයි! සතුටුයි!! ඔබ කොතරම් කරුණාවන්තද?...මෙහෙම අල්ලපු ගෙදර කෙනා හම්බ උනාම කතා කරන්ඩ ඕන විදිහ පුහුණු වෙමින් ගිය ඔහු අල්ලපු ගෙදර දොරේ බෙල් එක ගැහුවා.

ක..කරුණාකර හෙ...හෙජ් මහත්තය හම්බ වෙන්න පුලුවන්ද?

හෙජ්?

ඔව්..හෙජ් මහත්තයා.

හෙජ් කියල කෙනෙක් නෑනේ. හෙඩ් ගේ වෙන්න ඕන. ඔබට හමු වෙන්න ඕන බොම්බාය ප්‍රාන්තෙ සොලපූර් වලින් ආපු හෙඩ් ගේ මහත්තයද?

හෙජ්!! ආපහු මැනේජර් මහත්තයා කිව්වා.

නෑ හෙඩ් ගේ !

නෑ ...මං...මං හිතුවේ...කමක් නෑ ස්තූතියි!!

දොරෙන් ඇතුලේ හිටපු කෙනා දොර සම්පූර්ණයෙන් අරින්ඩත් කලින් මැනේජර් මහත්තයා පඩිපෙළ බැස්සා. ඒ වේගෙට එයාගේ අතින් වියංජන බාජනේ අත ඇරිලා බිම වැටුනා.
දුඹුරු පාට හොදි ගලා ගෙන ගිහිං පොඩි මඩ කඩිත්තක් හැදුනා. බිඳුණු පෝසිලෙන් කෑලි අඩමානෙට වගේ උඩට විරිත්තිලා බිම දිගා වෙලා තිබ්බා. අලුතෙන් ගත්තු සපත්තු ජෝඩුවේ ලොකු කහට පැල්ලමක් මතු වෙලා පෙනුනා. ඔහුගේ අතේ ඉතුරු වෙලා තිබුනේ සුදු පාට රිබන් එක විතරයි. පල්ලෙහැන් තියෙන අවුලත් එක්ක බලපුවම ඇඟිල්ලක එල්ලිලා තියන සුදු රිබන් එක හරි ලස්සනට පෙනුනා.
.....................................................................................................................................................

කෝවිලේ පූසාරි මැනේජර් මහත්තයව හම්බ වෙන්ඩ කන්තෝරුවට ආවේ සතියේ දෙවෙනි වතාවට. සාමාන්‍යයෙන් මිනිස්සු පූසාරි ගාවට යනවා මිසක්ක පූසාරි මිනිස්සු ගාවට එන්නේ නෑ. ඒත් මේක අහංකාරකමින් අමතක කරලා දාන්ඩ පුළුවන් වැඩක් නෙවෙයි. පූජාවක් තියන්ඩ කිසි උනන්දුවක් නැති මේ පැත්තේ තියන තුන්වැනි කන්තෝරුව මේක. මෙහෙම යන්ඩ ගියොත් මොකක් වෙයිද කෝවිලටමේ මිනිස්සු නොකලොත් මෙහෙ ඉන්න අනිත් දේශීය ව්‍යාපාරිකයොත් පූජා නොතියා ඉන්ඩ පටං ගනීවි. පූජාවක් තියන එක කාටත් හොඳයි. යැදුම්ගායනා මේවා වාසනාව ගෙනෙනවා. ඇයි සෞභාග්‍යයපූජකයෝ කීප දෙනෙකුට කතා කරාට පස්සේ පූසාරි තීරණය කළා ඔහුගේ සේවය මේ සඳහා නොමිලේ ලබා දෙන්ඩ. ප්‍රසිද්ධ උත්සවයකින් ලොකු පණිවුඩයක් යවන්ඩ පුළුවන්. මේකට යන වියදං පස්සේ අනික් අයගෙන් අය කර ගන්ඩ පුළුවන්.

කාකාස දැක්කා පූසාරිව. අය මොකටද පඩි පෙළ නැගලා උඩට එනකල්වත් පරක්කු වෙන්නේ. පරණ පුරුදු උත්තරේ ඔහු කියෙව්වා.

පැස්ටොන්ජි මහත්තයා ආවේ නෑ අද!!

ඇත්තටම මැනේජර් මහත්තයා එම්.ඩී. මහත්තයාගේ කාමරේට යනවා ඔහු දැක්කේ ටික වෙලාවකට ඉස්සරලා.ඒත් කාකාසට ලැබිලා තිබ්බ ස්ථාවර නියෝග හිංදා ජීවිතේ පහසු උනා. උත්තරේ පැහැදිලියි. පූසාරිට පොඩ්ඩක් ඉඳගෙන මහන්සිය නිවා ගන්ඩයි වතුර ටිකක් බීලා පිපාසෙ නිවා ගන්ඩයි තිබ්බනං හොඳයි කියල හිතුනත් මෙහෙට වතුර ගේන්නේ කොහෙන්දවතුර ගේන්නේ අඩු කුලේ එකෙක්ද කියලා නොදැන බොන්ඩත් මොකක්ද වගේ හිංදා ආපහු හැරුනා. පිටදිම කියපු එකත් හොඳයි නැත්තං මම එපාය අර පඩි පෙළ නගින්ඩ! එහෙම හිත හිතා ඔහු යන්ඩ ගියා.

ඊළඟ සතියේ පූසාරිට ඉස්කෝලෙක දේශනෙකට ආරාධනයක් ලැබිලා තිබ්බා. ඒ ඉස්කෝලේ ඉස්සරහ චුවිංගම් කොම්පැනියේ ලොකු පෝස්ටර් එකක් අලුතෙම්ම අලවලා තිබ්බා. ඒක දැක්ක ගමන් පූසාරිට පොඩි ආවේගයක් ආවා. ඔහු දේශනේ වෙනස් කළා.

මේ විදේශිකයන්ට අපේ සාරධර්මගැන වටිනාකම් ගැන කිසි ගරු කිරීමක් නෑ. අපි කොහොමද අහිංසාව ගැන කතා කරන්නේ අපේ එළදෙන්නුන්ව එළිපිටම මුං කාලා දාන කොටඔහු පෝස්ටරේ දිහාට අත දික් කරා. මේ විදේශික කෑම හදන්නේ එළදෙන්නුන්ගේ බඩ බොකු දාලා. බලන්ඩ මුං ලැජ්ජා නැතුව තව දැන්වීම් දාන හැටි!!උඹල මොනවද මේකට කරන්නේවළලු දාගෙන හිනා වෙවී ඉන්නවද?

චුවිංගම් හදන්නේ එලදෙන්නුන්ගෙන්දපිරිස අතරේ හිටපු කෙනෙක් මිමිනුවා.

මුස්ලිම් මිනිස්සු 1857 දී මොකද කරේ උන්ට දීපු උණ්ඩ වල ඌරු තෙල් ගාලා තියනවා කියල දැන ගත්තහමනිකං උඩ බලාගෙන හිටියදනෑ...කැරළි ගැහුවා!!!. 1857 කැරැල්ල පටං ගත්තේ එහෙමයි!!! පූසාරි දිගටම කිව්වා.

කැරැල්ලක්!! කැරැල්ලක්!!! අපිට ඕන කැරැල්ලක්!!!!  මිනිස්සු කෑ ගහන්ඩ පටන් ගත්තා. 

පහුවදා පත්තරේ ලොකු අකුරෙන් මෙහෙම තිබ්බා චුවිංගම් ඇතුළේ එළ දෙන්නු: බ්‍රිතාන්‍ය සමාගම හින්දු දහමට නිගා කරයි

එදා කෝච්චි ඉස්ටේසම ළඟ ලොකු සෙනගක් රැස් වෙනවා කාටත් දකින්ඩ පුළුවන් උනා. 

උදේ එකොළහට විතර වයසක මනුස්සයෙක් කොම්පැනියේ ගේට්ටුව ගාවට ඇවිත් සෙකුරිටි ට මොනවදෝ කිව්වා. ඒක අහපු ගමන් සේකුරිටි අතින් බැටන් පොල්ල බිම වැටුනා. සේකුරිටි පඩිපෙළ දිගේ දුවගෙන ගිහින් කෙලිම්ම එම්.ඩී මහත්තයාගේ කාමරේ තමයි නතර උනේ.

උන් එන්නේ මෙහාට සර්!

ඒක අහපු ගමන් මැනේජර් මහත්තයා උන්නු තැනින් නැගිටලා දිව්වා.

පොලිසියට කෝල් කරන්ඩ. එම්. ඩී. මහත්තයා කිව්වා.

දැන් පරක්කු වැඩියි. උන් එන්නේ අපිව මරන්ඩ. උන් අපේ පෝස්ටර් පුච්චනවා. එහෙම කිව්වේ සිකුරිටි.

පොලිසියට කෝල් කරන්ඩ මැනේජර් මහත්තයත් කිව්වා.

ඔක්කොටොම එලියට යන්ඩ කියන්ඩ. බිල්ඩිම වහලා දාන්ඩ. එම්. ඩී. මහත්තයා කිව්වේ එයාගේ මේසේ දෙවෙනි ලාච්චුවේ තිබ්බ කඩදාසි ටික ඔක්කොම එයාගේ බෑග් එක ඇතුලට දා ගන්න ගමන්.

විනාඩි කීපයක් ඇතුලත කන්තෝරුවේ හිටපු දොළොස් දෙනාම එලියට ගියා. සිකුරිටි ගේට්ටුවට ඉබ්බා දාලා ලොක් කළා. ඉස්සරෝම ගියේ එම්.ඩී. මහත්තයාගේ කාර් එක. ඊට පස්සේ තිබ්බ බයිසිකල් ටික හැරිච්ච හැරිච්ච පැත්තට ගියා. කලබල කාරයෝ හිටපු පැත්තට ඇරුනම. මැනේජර් මහත්තය වගේ අය පිටිපස්සේ දොරින් එලියට ගිහිං හොර පාරවල් වලින් ගෙවල් වලට යන්ඩ ගියා.

සතියකට පස්සේ සූරත් වලට යන්ඩ කෝච්චියක් අල්ලගන්ඩ යනකොට මැනේජර් මහත්තයා කොම්පැනි බිල්ඩිම තිබ්බ දිහා බැලුවා.එතකොට එයා දැක්කේ පිච්චිලා ගිය ගල් ගොඩවල් අතරින් බාගෙට පිච්චිච්ච කොම්පැනියේ නාම පුවරුව  අදින්ඩ හදන කොලු ගැටයෙක්. අර සුදු පාට එළදෙන කෝවිල ගාව හිටියා. ඉස්සරටත් වඩා දැන් ඌ මහතයි. බොහොම කලබලෙන් ඌ හපමින් හිටියේ කවදාවත් නැති තරමට ගිය සතියේ හම්බෙච්ච තණකොළ තොගේ.

Supem Tissera

unread,
Nov 9, 2023, 6:55:14 PM11/9/23
to INDRAKA

Thanks Nissanka for posting this.

A well written story.  This has been written as a short novel though it was translated to a short story. (https://www.amazon.com.au/Cow-Company-Parashar-Kulkarni-ebook/dp/B07WNQZ91S)That’s why it looks like quite a congested & lengthy story.

It is a reflection of the behaviour of people in different circumstances trying to please the superior officers, facing minor crisis in day to day life in an office during colonial era. However, some of the behavious could still be seen in present era. It is full of sarcasm but at the same time it generates some sympathy on the characters as well (That’s how I felt). There are so many hilarious/ sarcastic incidents in the story most of them can be seen in real life e.g. The Manager going to greet the new neighbour, Mr. A.K. Hedge (assuming he is an Englishman) 

Nissanka Rajapaksa

unread,
Nov 10, 2023, 5:22:04 PM11/10/23
to INDRAKA group
9

තලත්තෑනි තරුණයා


හෙන්රි වර්ණකුලසූරිය 

‘‘කොහෙද අනේ යන්නෙ. ඔයාට කවුද ගෑනියෙක් දෙපාරක්ම කෝල් කළා .’’

ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග දේශන පත්‍රිකාවක් සාකච්ඡා කොට පැමිණි වහාම මා වෙත ආ සුරම්‍යා පැවසුවා.

‘‘ගෑනියෙක්...!,,

‘‘ඔව්. ගෑනියෙක් තමයි. ඊයෙ හවසත් කෝල් එකක් ආවා. ඔයාව ඇහුව. මං ඒ තරං ගණන් ගත්තේ නෑ. ස්ටුඩන්ට් කෙනෙක් වෙන්නැති කියලා හිතුවෙ. දැන් ටිකකට කලිනුත් කතා කරලා ඔයා නෑ කිව්වම ගෑනි කතා කළේ ඔයා මෙතැන ඉන්දැද්දී මං නෑ කියනව වගේ නුරුස්නාවෙන්.

‘‘ඇයි.. මොනාද ඔයාට කිව්වේ..?’’

‘‘පොඩ්ඩක් විපරම් කරල බලන්නකො. ඔය නෝනට එක පාරටම පේන්නෙ නැති වුණාට ළඟ පාතක ඉන්නවද කියල පොඩ්ඩක් බලන්න කියල මට උපදෙස් දුන්නේ... මළ හෝන්තුවක්.

මේ දෙබස් ඇති වුණේ අප සමග සේවය කරන සහය කථිකාචාර්යවරියක හා මා අතරය. සුරම්‍යා විශ්වවිද්‍යාලයේදී මා සමග එකට උපාධිය හැදෑරූ හිතවතියකි. අප දෙදෙනාම සහකාර කථිකාචාර්යවරුන් ලෙස බැඳුණේද එක වරමය. එකම අධ්‍යයන දෙපාර්තමේන්තුවකය.

මා මේ සඳහන් කරන සිද්ධිය සිදු වුණේ  දැනට දශක තුනකටත් එහා ජංගම දුරකථන ප්‍රචලිත නොවූ කාලයකය. කිසිවකුට හෝ කිසියම් සම්බන්ධීකරණයක් සඳහා අප ලබා දුන්නේ පොදු ඍජු දුරකථන අංකයයි.

‘‘කටහඬ නං හරි හුරතල්. නලවල කතා කළේ. ස්ටුඩන්ට් කෙනෙක් නං නෙවි. හරියට හොර වැඩකට කතා කළා වගේ බයෙන්ද කොහෙද ඔයා ගැන ඇහුවේ.” (කිසි විටෙකත් අනෙකුත් විවේචනය නොකරන සුරම්‍යා මගේ කුටියට එබිකම්කොට යළිත් පැවසුවාය.

පසුදින උදයෙන්ම දුරකථනය නාද විය. සුරම්‍යා වෙනදා පරිදි ඇමතුමට පිළිතුරු දෙන්නට අසුනෙන් නැගිට්ටේ නැත. අප එකිනෙකා වෙන් වූයේ වීදුරු බිත්තිවලින් නිසා ඇගේ නොපහන් මුහුණ මට දැක ගත හැකි විය.

‘‘අනේ ළමයො.. කෝල් එක කාටද බලන්නකෝ’’


‘‘
අරකි වෙන්නැති. ඔයාම අරන් බලන්න.’’

දුරකථන ඇමතුම අසංකටය. ‘‘හැම කෝල් එකම අර මනුස්සයගෙ කියල හිතන්නෙපා සුරම්‍යා’’ ඇගේ කුටියට එබී පැවසූ මම මගේ වැඩවල නිරත වීමි. සුරම්‍යා මට විරිත්තුවාය.

අපි දෙදෙනා බොහෝ විට පෞද්ගලික තොරතුරු හුවවමාරු කර ගන්නා තරමට සමීප වීමු. මගේ පාසල් ප්‍රේම කතා හැමෙකක්ම පාහේ සුරම්‍යා දැන සිටියාය. ඇගේ පවුලේ අතිශය පෞද්ගලික තොරතුරු පවා පවසන්නට ඈ පැකිළුණේ නැත.

‘‘රහ කර කර අහං හිටය වගේ නොවෙයි ඔන්න පත්තරේට ලියන කතාවලට ඕව දානව හෙම නොවෙයි.’’

කම්මැලිකම යන්නත් එක්ක ඇගේ මේසය ඉදිරියේ වාඩිලා අල්ලාප සල්ලාපයේ යෙදී සිටින විට මා දෙස එක එල්ලේ බලා සිටිමින් දෑස් ඉවතට නොගෙන තරවටු කරන්නට ඇය පුරුදු වී සිටියාය.

ඇගේ දෑස් වෙතින් ඇස ඉවතට ගත නොහී මදක් දපනේ වැටෙන මා ඒ වෙලාවට හිතුවේ අපි දෙන්නා ප්‍රේමවන්තයින් නොවුණේ ඇයිද කියාය. කොහෙද අපේ සීනියර් බැච් එකේ සාලිය ආ ගමන්ම ඩැහැ ගත්තනේ. නැත්තං මගෙන් කොහෙ ගැළවෙන්නද?

හදිසියේ පහළ වූ සිතුවිල්ලකින් නැගී සිටි මම සුරම්‍යා වෙත ගියෙමි. ඈ යමක් ලියමින් සිටි ඉරියව්වෙන්ම හිඳිමින් මදක් හිස ඇල කොට මා දෙස නිහඬවම බලා හිඳිමින් හිසෙන් සන් කොට ඇයි දැයි විමසුවාය. ඒ බැල්මට මා ඉතා කැමතිය.

‘‘ඔයාට ඔය ටී ෂර්ට් එක අගේට ගැළපෙනවා වැඩියත්ම නාල, කොණ්ඩෙ කඩාදාලා ආ දවසට මාර ගති. ඇත්තමයි. සාරියට ඔයා හරිම සීරියස්...’’

‘‘පිස්සුද මංද... මගේ මොන ලස්සනක්ද ළමයෝ....’’

සමහර වෙලාවට ඇය මා ඇමතුවේ ළමයෝ’’ කියාය. ඇය වෙනත් කෙනෙකුට එසේ අමතනවා මා අසා තිබුණේ නැත.

දිවා ආහාරයෙන් පසු අලස සුවයෙන් මද විවේකයක් ගන්නා අතරතුර දුරකථනය නාද වෙන්නට පටන් ගත්තේය. සුරම්‍යා සුපුරුදු ලෙස නැගී සිටියාය.

‘‘සුරේන්.. ඔයාට කෝල් එකක්...’’ යනුවෙන් හඬනගා පැවසූ ඇය මා රිසීවරය ඇගේ අතින් ගන්නට පෙර මගේ කණට කර ‘‘අර මල හෝන්තුව තමයි’’ කීවාය.

දුරකථනයේ අනෙක් කෙළවර සිටි කාන්තාව කතා කළේ වෙව්ලන කටහඬකිනි. නමින් විමසා මා බව තහවුරු කරගත් ඇය හුස්මක් නොගෙනම කියවා ගෙන යන්නට වූවාය.

‘අනේ මිස්ටර් සතරසිංහ මං සති ගාණක් තිස්සේ ඔබතුමාව සොයනවා. අර කාන්තා පත්තරේ කෙටිකතාව ගියාට පස්සේ.

‘‘මම ඉතිං නිතරම ලියනවනේ... ඔයා කියන්නේ කොයි එක ගැනද’’

මා ඇයට බාධා කලේ ඒ දිනවල මා ලියූ කෙටිකතා නිරන්තරයෙන් පුවත්පත්වල පළ වූ බැවිනි.

‘‘ඇයි අර ‘අභිසාරිකාවකගේ ස්වයංවරය’’ අනේ ඒක හරිම තාත්විකයි. ඒ කතාව මං කීපාරක් කියෙව්වද මතක නෑ. ඒ තරම්ම හිතට වදිනවා. ඒකත් මට අහම්බෙන් කියවන්න ලැබුණේ. අපි ගෙදරට පත්තර ගන්නේ නෑ. මහත්තය මොනාද ඔතාගෙන ආව පත්තරේක තිබිල කියෙව්වේ. මං ඊට පස්සේ ඉඳලා හැම සතියෙම පත්තරේ ගන්නවා. දැන් සුමාන තුනක් විතර වෙනවනෙ. ඒ කතාව පළ වෙලා... මං පත්තරේට කෝල් කීයක් ගත්තද... ඒක එක වෙලාවට එක එක්කෙනා ආන්සර් කරනවා. ඒත් ඒ කවුරුත් ඔයාගෙ ටෙලිෆෝන් නොම්මරේ දැනන් හිටියේ නෑ. අන්තිමේට පත්තරේ කර්තෘ ලේඩි කෙනෙකුත් කතා කළා. එයත් කිව්වෙ කතා තැපෑලෙන් එනව මිසක ඊට වඩා පෞද්ගලික තොරතුරු දන්නේ නෑ කියලා... මං විශ්වාස කළේම නෑ. ඔය ගෑනු ඉරිසියයිනේ. තව ගෑනියෙක් කතා කරනවට. ඔයාගේ කතා ඔය තරම් දාන්නේ එයා ඔයාව නොදැන ඉන්න බෑනේ. ඒ හින්දා දැනගෙන විස්තර දෙන්නෙ නෑ. කියල මං හිතුව.’’ මම දිගටම හූමිටි තබමින් අසා සිටියෙමි.

කතා කරන අතර මා සුරම්‍යා දෙස බැලුවේ හිතාමතා නොවේ. ඈ විමතියෙන් මෙන් මා දෙස එක එල්ලේ බලා සිටියාය.

‘‘කවුද? මොකද මෙච්චර දිගට කියවන්නේ. ප්‍රශ්නයක්ද.?’’ යනුවෙන් විමසන්නා සේ ඈ ඇහි බැම ඔසවමින් ඉරියව්වලින් ප්‍රශ්න කළාය.

මා මන්දස්මිතියක් නංවාගෙන ඇය දෙස බලාගෙන දෙසපට හිස සැලුවේ අවුලක් නැති බව කියන්නටය. සුරම්‍යා මා දෙස රවා බැලුවාය.

‘‘අන්තිමේට කරදරේ බැරිම තැන කර්තෘ මණ්ඩලේට මගේ කෝල් එක දැම්මා. එතන හිටිය මහත්තයෙක් තමයි කිව්වෙ ඔය විශ්වවිද්‍යාලෙ තමයි වැඩ කරන්නේ කියලා. එතෙන්ට කෝල් එකත් අරං බලන්න කියලා. එදා ඉඳං මං ඔයාගෙ සෙක්ෂන් එක දන්නේ නැතිව සෑහෙන්න මහන්සි වුණා. සමහරු දන්නෙත් නෑ ඔයා පත්තරේට ලියන බව. අන්තිමේට ඔය සෙක්ෂන් එක හොයා ගත්ත. දවස් කීපයක් දිගටම රින්ග්ස් යනව. කවුරුත් ආන්සර් කළේ නෑ. ඔපරේටර් මට එක්ස්ටෙන්ෂන් එක කිව්ව නිසා තමයි දිගටම ගත්තේ. ඊයේ දෙපාරක්ම ඔතන උන්න නෝන කෙනෙක් කිව්ව මේ හිටිය මේ නෑ කියල. මට හිතුණේ බොරුවක් කියනව කියලා. පස්සේ ඒත් හිතුව ඉන්නව නං නොදෙන්නෙ මොකද කියල. අද ගත්තෙත් එයා නේද? කවුද එයා...?’’

‘‘ආ... ඒ මේ අපේ ස්ටාෆ් එකේ ලෙක්චරර් කෙනෙක්. මට කිව්ව තමයි දෙතුන් වතාවක් කෝල් ආව කියලා.’’

මා සුරම්‍යා දෙස යළි බැලුවේ මාතෘකාව ඇය වූ බැවිනි. ඇය පෙර විලාශයෙන්ම වෙනසක් නැතිව මා දෙස බලා සිටියාය. අතින් සංඥා කොට ඇය විමසුවේ තමන් ගැන විමසන්නේ කුමක් දැයි කියාය.

‘‘ඉවර වුනාම කියන්නාංකො පොඩ්ඩක් ඉවසන්නකො...’’ මම හඬ නොනැගෙන පරිදි දෙතොල් සොලවා අතින් සන් කරමින් ඉඟි පෑවෙමි. ඇය දත්මිටි සැපුවාය.

‘‘දැන් එතකොට මෙච්චර මහන්සි වෙලා මාව හෙව්ව කෙනාගෙ නමවත් මං දන්නේ නැහැනෙ හෙව්ව කාරනෙත් දන්නේ නැහැනේ.

‘‘මම රූපිකා ... රූපිකා දිසානායක මං වැඩ කරන්නේ මහරගම නගර සභාවේ. මගේ මහත්තයා පොලිසියේ. මං මගේ ජීවිතේ මේ වයසට පුදුමාකාර අත්දැකීම් ලබාපු ගෑනියෙක්. ‘අභිසාරිකාවකගේ ස්වයංවරය’ වගේ කතා ගොන්නක් ලියන්න අත්දැකීම් මා ගාව තියෙනවා. ඒකයි මට කතා කරන්න හිතුණේ. ඔය තරං සංවේදී විදිහට ලියන කෙනෙකුට මාව තේරුම් ගන්න බැරිවෙන එකක් නෑ කියල හිතුණා.

ඇගේ කතාව අසා සිටින්නට මා කැමැති බව ඇයට පැවසීමි. සඳුදා හා සිකුරාදා දවස්වල බොහෝවිට  කාර්යාලයේ රැඳෙන බවත් අනෙක් දවස්වල විටින් විට දේශනා සඳහා සහභාගි වන බවත් පැවසූ මම එළැඹෙන සිකුරාදා මා අමතන ලෙස කියා සිටියෙමි.

‘‘‘හරි... දැන් ඉන්න තැන දන්නවනෙ. මට එච්චර දුරක් නොවෙයිනෙ. ඇවිල්ල මුණ ගැහිලම මම විස්තර කියන්නත් පුළුවනි. මං ආයෙ නොවැරදීම සිකුරාදා දවල්ට කෝල් කරන්නම්කො. ඔන්න අද රෑට නං මට නින්ද යයි. දැන් සති ගාණක් තිස්සේ නින්දක් නෑ.’’ එසේ පැවසූ රූපිකා දුරකථනය විසන්ධි කළාය.

‘‘දැන් ඉතිං සඳුදයි, සිකුරාදයි මෙතන ටෙලිෆෝල් ආන්සර කරල ඉවරයක් නැති වෙයි. මෙයත් ඉතිං පැනි හිනාව දාගෙන තොඳොල් වුණානෙ. කවුද ඔය අම්මණ්ඩි...?’’

මම සුරම්‍යා සමග සියලු විස්තර පැවසීමි. මට සඟවන්නට කිසිවක් නොවීය.

‘‘ආ... එහෙනං රසිකාවියක්. ඔය කෙටිකතාව අපිටත් දෙන්නකො කියවන්න. ඔයා ලියනව කියල දන්නව වුණාට අපි කාන්තා පත්තර කියවන්නේ නෑනේ...” එසේ පැවසූ සුරම්‍යා ‘‘කොයිකටත් කල්පනාවෙන්. අපි දන්නේ නෑනෙ කොයි වගේ අම්මන්ඩියක්ද කියලා.”  යනුවෙන් කියාගෙන නික්ම ගියේ මගේ පිටට වැරෙන් පහරක් ගසමිනි.

ඒ පහරේ ලොකු කතාවක් තිබෙන්නට ඇතැයි මට සිතුණි. සිකුරාදා උදේ වරුවේ සුරම්‍යාට දේශන ඇත. කොළඹින් ඈත පළාතක වෙසෙන දෙමාපියන් බැලීම සඳහා සිකුරාදා දිවා ආහාරය ගැනීමෙන් අනතුරුව පිටත්ව යන්නට ඈ පුරුදු වී සිටියාය. ඒ අනුව සිකුරාදා දවසම ඈ දුරකථනය අසල නැත.

රූපිකාට සිකුරාදාම ඇමතුමක් දෙන්නැයි මා පැවසුවේ සුරම්‍යා මග හැරීමට බව ඇස සිතුවා වත්ද? ඇත්තෙන්ම සුරම්‍යා නොමැති විටෙක රූපිකා ඇතුමක් දෙන්නේ නම් මැනවි යැයි මා යටි සිතින් ප්‍රාර්ථනා කළා විය යුතුය.

සිකුරාදා උදේ සිට දුරකථනයට එන සෑම ඇතුමකටම මා පිළිතුරු දුන්නේ වෙනෙකෙකුට කතා කරන්නට ඉඩ නොතබාය. කරුමෙකට රූපිකාගේ දුරකථන ඇමතුම ආවේ උදේ වරුවේ දේශන හමාර කොට සුරම්‍යා දිවා ආහාරය ගැනීමට කාමරයට පැමිණි පසුවය. මේ නම් රූපිකාගේ ඇමතුම වන්නට පුළුවනැයි සිත පැවසුවද මා අසුනෙන් නො නැගිට්ටේ ‘‘කෝ අර හෝන්තුව කෝල් කළේ නැත්දැ’‘යි අසාගෙනම මොහොතකට පෙර සුරම්‍යා පැමිණි නිසාය.

දුරකථනයට පිළිතුරු දුන් සුරම්‍යා කිසිවක් නොදොඩාම රිසීවරය ඉහළට ඔසවා මට සන් කළාය. ඇගේ මුහුණේ වූයේ ප්‍රසන්න බවක් නොවේ. ඈ මා දෙස බැලුවේ සැක සහිත බැල්මෙනි.

එහා කෙළවරේ වූයේ රූපිකාය. ඒ දිවා ආහාර ගැනීමට සූදානම් වන මොහොත නිසා පැයකට හමාරකට පසු ඇමතුමක් ගත හැකිදැයි මම කාරුණිකව විමසා සිටියෙමි. යම් හෙයකින් කතා කරන්නට නො ලැබුණොත් සඳුදා කතා කරන්නෙමැයි ඇය පැවසුවාය. ආහාර ගෙන කතා කරන්නට ඇගේ දුරකථන අංකය විමසීමට සිතුණු නමුදු සුරම්‍යා සිටින මොහොතක එය නුසුදුසු බව මගේ හිත කියන්නට විය.

‘‘මොකෝ හවසට දා ගත්තේ අපි ඉන්දැද්දී කතා කරන එක හරි නෑ කියල හිතුණද?” සුරම්‍යා විමසුවේ ඉවත බලාගෙනය. ‘‘මොනාද අනේ මේ කියන්නේ. එයා දිගටම කියවන්න ගත්තොත් අපේ ලන්ච් එකත් පවා වෙනවනෙ. මං එතකල් ඔයා කොහොමත් කන්නේ නෑනේ. අද බැරි වුණොත් සඳුදට කතා කරනව කිව්වා.’’

‘‘සඳුදට මාත් ඉන්නවනෙ. කමු කමු... ඔයා නැතිව මං කන්නේ නැති බව දන්න එක හොඳයි. මං කාපු ගමං යන්න ඕනේ. අද අම්මව ඩොක්ටර් කෙනෙකුට පෙන්නන්නත් තියෙනව.’’

දිවා ආහාරය නිමා කළ වහාම සුරම්‍යා පිටත්ව ගියාය.

‘මට මගේ කතාව කියන කල් ඉවසිල්ලක් නෑ. ඊයේ මුළු රෑම හිතුවෙ කොහෙන් පටන් ගන්නද කියල. ඒත් ෆෝන් එකෙන් කියන්න බැරි තරම් විස්තර ගොඩක්. මට ඔයාට නිදහසේ මුණ ගැහෙන්න ඕනේ. මං ඔයාගෙ කැම්පස් එකට එන්නං. දැන් වැඩ ඇරිල ගෙදර යන්න ලේස්ති වෙලා මේ කෝල් එක ගත්තේ.’’

හවස ඇමතුම ගත් රූපිකා කීවාය.

අප මුණ ගැසෙන්නට නිතර සිසුන් පැමිණෙන නිසාත්, ආචාර්ය මණ්ඩලයේ අය සිටින නිසාත් නිදහසේ කතා කරන්නට සුදුසු වාතාවරණයක් නොමැති බව පැවසූ මම නුගේගොඩ දුම්රියපොළ වැනි පොදු ස්ථානයකදී මුණ ගැසෙමු දැයි විමසුවේ විවාහක ස්ත්‍රියක වූ ඇය අපහසුතාවට පත් නොවන පරිදිය.

ලැබුණු අවස්ථාවෙන් මම ඇගේ දුරකථන අංකය ඉල්ලා සිටියෙමි.

‘‘මෙතන ගොඩක් අය ඉන්නව. කවුරුදු ආන්සර් කරයිද දන්නේ ඈ. මට පිරිමි අයගෙන් කෝල් එන්නේ නැති හංද මේකෙ ඉන්න උං පදයක් හදයි ඒ හංදා මංම කෝල් ගන්නම්....’’ එසේ පැවසූ රූපිකා ‘‘අනේ මට තේරෙනව. ඔයාව අපහසුතාවට පත් කරන්න මට ඕනේ වුණේ නෑ... මං ඔතෙන්ට එන්නේ නෑ. රාජගිරියෙ මහජන බැංකුවෙ මගේ හොඳම යාළුව ඉන්නව. එයා එතන මැනේජර්. ඉනෝක කියල. මං ඔයාට කතා කරන්න කලිං එයාගෙන් ඇහුව.. එයා කිව්ව එතන නිදහසේ කතා කරන්න පුළුවන්. ලබන සඳුද එන්න කියලා...’’

ඇය සියල්ල අපූරුවට සැලසුම් කොට තිබිණි. ඇයට කල් නොයවා මා මුණ ගැසී ඇගේ කතා කියන්නට වුවමනා බවත්, විශ්වවිද්‍යාලයට එනවාට මා විරුද්ධ වුවහොත් ඊට විකල්පය සොයා ගන්නට තරම් ඇය සූක්ෂම බවත් මම තේරුම් ගතිමි.

මම ඇගේ යෝජනාවට එකඟ වීමි. සඳුදා උදයෙන්ම රාජගිරිය මහජන බැංකුවට එන්නට පොරොන්දු වීමි.

‘‘ආ ගොඩක් ස්තුතියි. හාෆ් ඩේ දාලා මං එන්නම් ඔයාට නාවල ඉඳං එච්චර දුර නැහැනෙ. උදේ නමය වෙද්දී එන්න.’

රූපිකා සියල්ල තීරණය කළාය. සඳුදා උදේ වරුවේ සුරම්‍යා පමා වී වැඩට පැමිණීම මට සහනයක් විය.

‘මැනේජර්.. මිසිස් ඉනෝකා ඇවිල්ල ඉන්නවද?’’ මම ආරක්ෂක නිලධාරියගෙන් විමසුවෙමි. ‘‘ඔව් සර්... මැඩම් රූම් එකේ ඉන්නව... උඩ තට්ටුවට යන්න...’’

ඉනෝකා ඉතා රූබර, ආකර්ශනීය කාන්තාවක වූවාය. වීදුරු දොරෙන් මට ඇගේ රුව ඉතා පැහැදිලිව පෙනුණු නමුදු ඈ ඉදිරියේ මට පිටුපා සිටින ඔසරියක් හැඳි සිටි කාන්තාවගේ රුව පෙනුණේ පසුපසිනි. මේ රූපිකා විය යුතුය.

කළමනාකාරිනියගේ කාමරයේ ඉදිරියේ මදක් තත්පර වූ මට ඇය ඇතුළට පැමිණෙන්නැයි අතින් සන් කළාය. ඒ සමගම ඇය ඉදිරියේ හිඳ සිටි කාන්තාව හිස හරවා බැලුවාය. ඇය ඉනෝකාටත් වඩා රූමත් ආකර්ශනීය තරුණ කාන්තාවක වූවාය.

මගේ දිව පැටලිණි. මේ රූපිකාද? නැතහොත් ඇය තවම පැමිණ නැද්ද? මම කාමරය සිසිරා නෙත් හෙළුවේ තවත් රූපිකාවක සෙවීමටය.

‘‘යස්... මිස්ටර්...’

‘‘මම සතරසිංහ... මං නිවැරැදි නම් මේ මිසිස් ඉනෝකා...’’

‘‘ඔව් ඉනෝකා කරුණානායක. වාඩිවෙන්න....’’ මම අනෙක් තරුණ කාන්තාව ගේ වම් පසින් හිඳ ගතිමි.

‘‘අපි බලාපොරොත්තු වුණේ තලතුනා වයසේ මිස්ටර් සතරසිංහ කෙනෙක්.... ඒත් මෙතන ඉන්නේ තරුණයෙක්නේ.... මේ අපේ වයසේම... බයි ද වේ... මේ ඉන්නෙ රූපිකා...’’

මම මගේ පසෙකින් අසුන් ගෙන සිටින තරුණ කාන්තාව දෙස බැලීමි.

‘‘ආ... අනේ වෙන්න බෑ...කොහෙත්ම වෙන්න බෑ... මේ මිස්ටර් සතරසිංහද.. අයියෝ මං දැනගෙන හිටිය නං මේ ගමන එන්නේ නෑ....’’

දියෙන් ගොඩ දැමූ මාළුවෙකු සේ රූපිකා ගැහෙන්නට වූවාය..

‘‘ඇත්තටම මේ සුරේන් සතරසිංහමද?  ඒත් මං බලාපොරොත්තු වුණේ තලත්තෑනි කෙනෙක්. ගොඩක් අත්දැකීම් තියෙන වැඩිහිටියෙක්. අඩුම ගානේ අවුරුදු හතළිහක් හතළිස් පහක් විතර... නැත්තං මං කෝල් කරන්නේ නෑ. ලියන දේවල් හැටියට මං බලාපොරොත්තු වුණේ වැඩිහිටියෙක්... අනේ ඉනෝකා සොරි... මං ඔයාවත් අපහසුතාවට පත් කලා. මේ එයා නොවෙයි. මං හෙව්ව එයා නොවෙයි.... මට මෙයාට මගේ කතා කියන්න බෑ.. කොහෙත්ම බෑ...’’

මම කිසිවක් අදහාගත නොහැකිව මොහොතක් ගල් ගැසී සිටියෙමි.

‘‘‘මට ඕනේ වුණේ මගේ ජීවිත කතාව කියල උපදෙසක් ගන්න පුළුවන් කෙනෙක්. වැඩිහිටියෙක්. මගේ ඛේදවාචකය තේරුම් අරං ඒකට උපදෙස් දෙන්න පුළුවන් කෙනෙක්. අනේ මට සමාවෙලා ඔය පඩිපෙළ බැහැගෙන ආපහසු යන්න. ඔයා රූපිකා කියල කෙනෙක් දන්නේ නෑ. එහෙම කෙනෙක් කෝල් කළෙත් නෑ... එහෙම කෙනෙක් දැකලත් නෑ....’

ඉනෝකා මා දෙස බලා සිටියේ තවත් එතැන මා රැඳී නොසිටිය යුතුය යන බැල්මෙනි. ඇය විශාල අපහසුතාවකට පත්වී සිටියාය.

මම හෙමිහිට කාමරයෙන් පිටතට ආවෙමි.

‘‘මට මගේ පවුල කඩා ඉහිරවගන්න බෑ ඉනෝකා...’’ පඩිපෙළ බැස ගෙන යන තුරු පමණක් නොව විශ්වවිදයාලයේ මගේ කාර්යාලයට එන තුරුද රූපිකාගේ ඒ හඬ මගේ සවනේ දෝංකාර දෙන්නට විය.

මා පැමිණ ටික වේලාවකින් ඉනෝකා මට ඇමතුමක් දුන්නේ මා පත් වූ අපහසුතාව ගැන රූපිකා වෙනුවෙන් සමාව ඉල්ලන්නටය.

මේ වන විට විශ්‍රාම සුවයෙන් පසු වන ඇය මගේ දරුවන්ගේ අම්මාය.

http://ketykatha.blogspot.com/2020/12/blog-post.html?m=1


Nissanka Rajapaksa

unread,
Nov 11, 2023, 7:06:13 PM11/11/23
to INDRAKA group

10

ඔබේ ඉඩ තවමත් හිස් ව පවතී

Translation of the Short Story ‘Your Place is Empty’ by Anne Tyler
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

ඔක්තෝම්බර් මස මුලදී හසන් අර්ඩාවී ඉරානයේ සිට සංචාරයකට පැමිණෙන ලෙස තම මවට ආරාධනා කළේය. ඇය නම් වහාම ඒ ආරාධනාව පිළිගත්තාය. මේ ගමන කොයිතරම් කාලයකටද යන වග පැහැදිලි වූයේ නැත. හසන් ගේ බිරිඳගේ අදහස වූයේ මෙවැනි ගමනකට තෙමසක් ප්‍රමාණවත් බවයි. හසන් නම් මාස හයක ගමනක් ගැන සැලසුම් කර වීසා ලබාගන්නට සකසන ආරාධනා ලිපියෙහි එලෙසින් සඳහන් කළේ ය. නමුත් එවැනි ගමනකට මාස හයක් ප්‍රමාණවත් නැති බව ඔහුගේ මවගේ අදහස වූ අතර ඇය නම් බලාපොරොත්තු වූයේ අවුරුද්දක්ම එහි රැඳීමටයි. තවම වයස දෙකක් වත් නොවූ හසන් ගේ දියණියට කාලය ගැන හැඟීමක් තිබුණේ නැත. තම මිත්තනිය පැමිණෙන බව ඇයට දැනුම් දෙනු ලැබුවද ඇයට ඉක්මණින්ම ඒ බව අමතක විය.

හසන්ගේ බිරිඳගේ නම එලිසබෙත් වූවත් ඒ නම ඉරාන ජාතිකයෙක්ට නම් උච්ඡාරණය කිරීම් පහසු එකක් වූයේ නැත. ඇය ඇමෙරිකානු බව ලෝකයේ ඕනෑම තැනකදී හඳුනා ගැනීමට හැකි පෙනුමක් තිබිණි. දිගු අත පය සහ රන්වන් කෙස් ඇති ගැහැනියක් වූ ඇය ඇවිද්දේ කිසිම ලාලිත්‍යයකින් තොරව ය. විදෙස් භාෂා ඉගෙනුමට ඇයට විශේෂ හැකියාවක් විය. නැන්දම්මා පැමිණෙන්නට පෙර ඇය පර්සියානු භාෂාව ඉගෙනීමට උපදෙස් ඇති පොතක් සොයාගෙන තනිවම එය උගත්තාය. “සලාම් මලෙයිකුම්” ඈ හැම උදෑසනකම කැඩපතට කීවාය. මෙය අසා ඇගේ කුඩා දියණිය තමන්ගේ වැසිකිලි පුටුවේ සිට තැතිගෙන බලා සිටියාය. ඉදිරියට විය හැකි විවිධ අවස්ථා ගැන තනිව කල්පනා කළ එලිසබෙත්, ඒවාට අදාළ වචන කටපාඩම් කරන්නට උත්සුක විය. “තව තේ ටිකක් දෙන්නද? ඔබට සීනි ඕනද?”

රාත්‍රී ආහාර වෙලාවේදී ඇය තම සැමියාට පර්සියානු බසින් ඇමතුවාය. ඇගේ පැතලි, තථ්‍ය ඇමෙරිකානු කටහඬින් තමන්ගේ බසට ලබාදුන් අමුතුම මාත්‍රාව ගැන ඔහු සිනාමුසුව බලාසිටියේය. එලිසබෙත් අම්මාව පුදුම කරන්නට බලාගෙන සිටින බව ඔහු ඇයට ලියා යැව්වේය.

ඔවුන්ගේ නිවස කොලෝනියල් යුගයට අයත් ගඩොලින් නිම වූ තට්ටු තුනක එකක් වූවත් ඔවුන් පාවිච්චියට ගත්තේ එහි පළමු දෙමහල පමණකි. දැන් ඔවුහු තුන්වෙනි මහලේ තිබුණු පෙට්ටගම්, පැරණි සඟරා ආදී සුන්බුන් ඉවත් කර ලී බඩු කිහිපයක් ඒ වෙත ගෙන ආහ. එලිසබෙත් එහි කවුළු සඳහා මල් මෝස්තරයක් සහිත ජනෙල් රෙදි මැසුවාය. විදේශික නැන්දම්මෙක්ට පිළිවෙලට මසන ලද වාටි ආදිය වැදගත් විය හැකි නිසා ඇය මේ ගැන වැඩිපුර වෙහෙසුණාය. මීට අමතරව හසන් කුඩා මාලිමාවක් ගෙනැවිත් එය කණ්නාඩි මේසය මත තැබුවේය. “අම්මා යාඥා කරද්දී මක්කම තියෙන පැත්ත දැනගන්න ඕනනේ, ඒකටයි මේක. අම්මා දවසට තුන් සැරයක් යාඥා කරනවා.”

“ඒත් මෙහෙ ඉඳන් මක්කම තියෙන්නේ කොයි පැත්තේද?”

හසන් ඊට දෙඋර සැලුවා පමණි. ඔහු කුඩා දරුවෙක්ව සිටියදී පවා කිසිදිනක යාඥා කර නැත. ඔහු කුඩා කාලයේදී තම මව යාඥා කරද්දී තමන් ඇගේ දෙපතුල් කිති කවන පැරණිම මතකයක් ඔහුට ඇත. යාඥා කිරීම ඇරඹු පසු නැවත්වීම තහනම් බැවින් එවන් අවස්ථාවලදීත් ඔහුගේ මව නොකඩවාම යාඥා කළාය.


~~~~~~~~~~~~

ගුවන් යානයෙන් බැසීම පිළිබඳව අර්ඩාවී මහත්මිය පසුවූයේ තැති ගැන්මෙනි. ඇය එහි පඩිපෙළ බැස්සේ හරස් අතට, අඟලින් අඟලයි. ඇය එක අතකින් තම හිස බැඳි සාලුව අල්ලාගෙන සිටි අතර අනෙත් අතින් අත්වැට තදින් අල්ලා සිටියාය. එය රාත්‍රියක් වූ බැවින් තද සීතලක් විය. අවට වාතයේ අමුතු පාරාන්ධ බවක් තිබිණි. ඈ පොළොවට බට පසු මඳක් නිසොල්මන්ව සිටියාය. දුරට පෙනුණේ කළු ඇඳුම් ඇඳ, සුමට හිසකෙස් වැසෙන්නට ලේන්සුවක් බැඳි, කුඩා තරබාරු කාන්තාවකි. ඇය තම පිටකොන්ද ඉතා ඍජුව තබාගෙන සිටියේ සිත රිද්දනු ලැබූ කෙනෙක් මෙනි. මේ මොහොත මනසේ මවා ගනිද්දී ඈ හැමවිටම සිතුවේ හසන් ගුවන් යානය අසල ඈ එනතුරු බලාසිටිනු ඇතැයි කියාය. නමුත් ඔහු පෙනෙන්නට සිටියේ නැත. අයගේ පසුපස තිබුණු අඳුරු පදාසයේ තැන තැන නිල් පැහැති එළි දිස් විය. ඇයට ඉදිරියෙන් තිබුණේ ගුවන්තොටුපලේ උස් ගොඩනැගිල්ලයි. නිලධාරියෙකු සියලුම මඟීන්ව වීදුරු දොරකින් ඇතුළට යොමු කරමින් සිටියේය. ඇය ඔවුන් පසුපස වැටුණේ උන විකාරයකදී ඇසෙන ආකාරයේ තේරුමක් රහිත ශබ්ද රැසක පැටලෙමිනි.

ආගමන විගමන නිලධාරීන්, ගමන් මලු ලබාගන්නා ස්ථානය, රේගුව. මේ හැම තැනකදීම තමන් ඉංග්‍රීසි කතා නොකරන බව පෙන්වීමට ඇය දෑත් විදා සිනාසී, උරහිස් ඇකිලුවාය.ඇය සමඟ ගුවන් යානයේ පැමිණි සෙසු මඟීහු වීදුරු බිත්තියකින් එපිට තිබුණු අපැහැදිලි මුහුණු රැසක් වෙත අත් වනමින් සිටියහ. ඔවුහු හැම කෙනෙක්ම හඳුනන අය මෙහි පැමිණ ඇති බවත් තමන්ට පමණක් එවැන්නෙක් නොමැති බවත් ඇයට සිතිණි. ඇය ගුවන්යානයෙන් පිටතට පැමිණ තිබුණේ අලුත උපන් බිලිඳෙක් ලෙසින් වචන රහිතව, මිතුරන් රහිතව ය. ඇය වුවමනාවට වඩා තෑගි රැගෙන විත් සිටි නිසා රේගු නිලධාරීන් ඇය ගැන ප්‍රසාදයක් දැක්වූයේ නැත. ඇය අත්‍යාවශ්‍යම ඇඳුම් කිහිපයක් පමණක් ඉතිරිකරගෙන ඉඩ සකසාගෙන ඇගේ ගමන් මලු තෑගි වලින් පුරවාගෙන පැමිණ සිටියාය. එහි ලේලිය වෙනුවෙන් ගෙන ආ රිදී තේ පෝච්චි කට්ටල සහ රන් ආභරණ විය. අහිගුණ්ඨික ගෝත්‍රයක සංකීර්ණ ආයිත්තම් පැළඳි බෝනික්කා ගෙනැවිත් තිබුණේ මිනිබිරිය වෙනුවෙනි. මීට අමතරව මිනිබිරියට බැටළු ලොම් වලින් සැකසූ කබායක් සහ රන් දම්වැල් වල එල්ලූ කුඩා පදක්කම් දෙකක්ද විය. එක් පදක්කමක් අල්ලාහ් ගේ නම ලියැවුණු කුඩා රන් පෙත්තකි. අනෙක දීර්ඝායුෂ සඳහා විශේෂයෙන්ම බලගතු යාඥාවක් ලියැවුණු කුරානයක ක්ෂුද්‍ර රන් ආකෘතියකි. රේගු නිලධාරියා මේ රන් ආභරණ රැසට වැලි සේ තම ඇඟිලි අතරින් රූරා වැටෙන්නට ඉඩ දුන් අතර කුරානය වෙත ගැටලුකාරී බැල්මක් හෙලුවේ ය.

“මම මොකක් හරි වැරද්දක් කරලා ද?” ඇය ඇසූ නමුත් ඔහුට ඇය කී දේ වැටහුණේ නැත. ඇයට නම් සිතුණේ ඔහු මඳක් උත්සාහ කර, එක් වරක්වත් ඇගේ දෑස් දෙස බලා හොඳින් ඇහුම්කන් දුන්නේ නම් ඔහුට එය නොවැටහෙන්නට හේතුවක් නොතිබුණු බවයි- එය ඉතා සරල බසකි.

හසන් වෙනුවෙන් ඇය රැගෙනවිත් තිබුණේ කෑම බීමයි. ඈ ඔහු කැමති සියලුම කෑම වර්ග එක්රැස් කර, ඒවා මොණරුන් ගෙත්තම් කළ රෙදි මල්ලක දමා ගෙනැවිත් තිබිණි. නිලධාරියා මේ මල්ල විවර කර, සෙමින් තමන්ටම යමක් කියාගෙන තම සගයෙක්ට එතැනට හඬ ගැසුවේය. ඉනික්බිති ඔවුන් දෙදෙනා එක්ව පත්තර කඩදාසි වල එතූ කුඩා මුල් දිගහරින්නට වූයේ ඒවායේ වූ විවිධ ඖෂධීය ද්‍රව්‍ය වල පුසුඹ බලමිනි. “මේ සුමැක්” ඈ ඔවුන්ට කීවාය. “මේ වේලලා කුඩු කර ගත් ලෙමන්. මේ උළුහාල් ගස් වල කොළ.” ඔවුන් ඇය වෙත පෑවේ හිස් බැල්මකි. කුඩා මුලක් ලෙහූ ඔවුන් එහි ඈ සුප් සැකසීම වෙනුවෙන්ම ගෙන ආ කශ්ක් නම් වෙඬරු වර්ගය අවුස්සන්ට විය. ඔවුන්ගේ දෑත් අතරින් ලිස්සා ගිය ඒ මීකිරි බෝලවල තැන තැන බැටළු ලොම් සහ බෙටි ඇලවී තිබිණි. කොතැනක හෝ දුප්පත් අයෙක් මේ කශ්ක් තැනීමට පැය ගණනක් මහන්සි වන්නට ඇත. අර්ඩාවී මහත්මිය මේ කශ්ක් බෝල අහුලා නැවත මල්ලට දැම්මේ තිර ලෙසිනි. මේ ක්‍රියාවේ අදහස නිලධාරියාට තේරෙනු ඇතැයි ඇය සිතුවාය, ඇගේ ඉවසීමේ සීමාව ඉක්මවා යමින් තිබිණි. ඔහු පරාජිත බවක් පෙන්වමින් දෑත් විදාලුවේය. ඇය පිටව යාමට නිදහස් කර තිබිණි.

නමුත් ඒ නිදහස කොතැනක යන්නටද?

නිලංකාර දෑසින් යුතුව, පය පැකිලෙමින් ඇය වීදුරු බිත්තිය වෙත ගමන් කරන්නට විය. වෙල්වට් සහ අලංකාර සේද රෙදි කැබලි වලින් නිමවන ලද විවිධ හැඩවලින් යුත් පාර්සල් සහ ගමන් මලු, ඇය ඉදිරිපසින් පිරමීඩයක් සේ දිස් විය. හදිසියේම ඇය ඉදිරිපසින් දොරක් විවර වූ අතර නාඳුනන පුද්ගලයෙකු ඇයගේ මඟ හරස් කළේ ය. “ඛානොම් ජුන්,” ඔහු කීවේය. ඒ නමින් ඇයව ආමන්ත්‍රණය කළේ ඇගේ දරුවන් පමණකි. ඇය කිසිත් නොදකින දෑසින් ඔහුව පසු කර යද්දී ඔහු ඇයගේ අත ස්පර්ශ කළ අතර ඇය හිස ඔසවා ඔහු දෙස බැලුවාය.

මෙහි සිටි තරබාරු මිනිසාව ඇය හැඳිනුවේ නැත. ඇය හසන්ව අන්තිමට දකිද්දී ඔහු ආපසු හැරී නොබලාම ප්‍රංශ ගුවන්යානයක් තුළට අතුරුදහන් වූ කෙසඟ, උරහිස් කඩාහැලෙන වෛද්‍ය ශිෂ්‍යයෙක් විය. “ඛානොම් ජුන්, මේ මම” යැයි අමුත්තා කියද්දී ඇය බොඳ වූ දෑසින් ඔහුගේ මුහුණ පිරික්සුවාය. මේ නම් අසුබ ආරංචියක් ගෙන එන්නෙක් බවට සැක නැත. එය කුමක් විය හැකිද? ඇයට කිසි දිනක තම පුත්‍රයාව දකින්නට නොලැබෙන බව ඇය නැවත නැවතත් පෙනෙන හීනයක දැක තිබිණි. ඔහු ගුවන්තොටුපොළ වෙත එද්දීම මිය යන බව - නොඑසේ නම් ඔහු මියගොස් මාස කීපයක් වූවත් කිසිවෙක් ඒ ගැන ඇයට නොකී බව, ඇමෙරිකාවේ සිටින දුර ඥාතියෙක් හසන් ඇයට එවන සතුටු ආරංචි පිරි ලිපි වල ඔහුගේ අත්සන යොදන බව ඒ හීනවල කියවිණි. නමුත් හිසකෙස් සුදුවෙමින් ඇති, ඝන උඩු රැවුලක් සහිත මේ පිරිමියා ඇඳුමින් ඇමෙරිකානු වූවත් පෙනුම ඉරාන ජාතික වූ අතර ඔහුගේ දෑස වෙනත් කෙනෙකුට අයිති විලසින් ඒවායේ දුක්මුසු හුරුපුරුදු බවක් තිබිණි. “ඇයි මාව විශ්වාස නැද්ද?” ඔහු ඇසුවේය. ඉනික්බිති ඔහු ඇගේ දෙකොපුල සිපගත්තේය. ඇය මුලින්ම හඳුනාගත්තේ ඔහුගේ පුසුඹයි. ඔහු වෙතින් හැමූ ප්‍රියමනාප කහට ගතියෙන් යුත් බෙහෙත් සුවඳ ඇය වෙත ගෙන ආවේ හසන් කුඩා කල ඇගේ ගෙල වටා තම සිහින් දෑත් පටලන්නට සැරසෙන මතකයකි. “හසන් මේ ඔයා!” කී ඇය ඔහුගේ අළු පැහැති ට්වීඩ් කබායේ උරහිසට වාරු වී හඬන්නට විය.


~~~~~~~~~~~~~~~~~~

ඔවුහු නිවස බලා යන ගමන නිහඬවම ගත කළහ. වරක් ඔහුගේ මුහුණ අල්ලන්නට ඇය අතක් දිගු කළේ හැතැප්ම ගණනක් තිස්සේ එසේ කරන්නට වුවමනාව තිබුණු බැවිනි. ඔහු මෙතෙක් කල් එවා තිබුණු අපැහැදිලි ඡායාරූප කිසිවක් ඔහු කෙතරම් වයස්ගත වී ඇතිද යන්නට ඇයව සූදානම් කර තිබුණේ නැත.

“කොච්චර කල් ගතවෙලාද ඇත්තටම?” ඇය ඇසුවාය. “අවුරුදු දොළහක්?”

නමුත් හරියටම කෙතරම් කල් ගතවුණිදැයි ඔවුහු දෙදෙනාම දැන සිටියහ. ඈ එවූ ලිපි කන්දරාවේ “මගේ දයාබර හසන්, දස වසරක් ගත වී ඇතත් ඔබේ ඉඩකඩ තවම හිස් ව තිබේ,” “එකොලොස් වසරකට පසුවත් තවමත්…” යනුවෙන් සටහන් ව තිබිණි.

ඉදිරියෙන් පැමිණෙන වාහනවල ලාම්පු එළි දෙස හසන් දෑස් කුඩා කර බැලුවේය. ඔහුගේ මව තම හිස බැඳි සාලුව වරින් වර අතින් සකසන්නට විය. තමන් එය නොපැළඳ යුතුව තිබුණු බව ඈ දැන සිටියාය. දෙවරක්ම ඇමෙරිකාවට ගොස් තිබුණු ඇගේ බාලම නැගණිය ඒ බව ඇයට කියා තිබිණි. “ඕවා දැම්මාම ඔයා එහෙදි කැපිලා පේනවා” නැගණිය කීවාය. නමුත් මෙය කලින් බලයට පත් වූ ශා වරයාගේ තහනමට ලක්වීමට පෙර ඇය පැළඳි හිස් ආවරණ සාලුව යළිත් මතකයට කැන්දන කුඩා සිහිවටනයක් පමණක් විය. ඇගේ වයසේදී ඇය හිස නිරාවරණය කරගෙන යන්නේ කෙලෙසද?

මීට අමතරව ඇයගේ දත් පිළිබඳව ගැටළුවක් ද විය. “ඔයාගේ මුළු කටටම දත් තුනක් වත් නැහැනේ, ඔයාට තියෙන්නේ දත් කුට්ටමක් හදවා ගන්න.” ඇයගේ බාලම නැඟණිය කීවාය. නමුත් අර්ඩාවී මහත්මිය දන්ත වෛද්‍යවරුන්ට කෙරෙහි දැක්වූයේ බියකි. දැන් ඇය එක් අතකින් මුව වසාගෙන හසන් දෙස බැලුවාය. ඇගේ දත් පිලිබඳ ගැටලුව ඔහු මෙතෙක් දැක නැති බවක් පෙනුණු අතර ඔහු රථය දකුණු මං තීරුවට හරවාගන්නට වෙහෙසෙමින් සිටියේය.

ඇය ඔවුන් අතර මේ නිහඬතාවය කිසිසේත් බලාපොරොත්තු වූයේ නැත. සති ගණනක් තිස්සේ ඈ කුඩා ඕපාදූප කැබලි එකතුකරමින්, ඔහුට කියන්නට පවුලේ කතන්දර වියමින් පසු වූවාය. ඇයගේ පවුලේ තුන්සියයක් තරම් සාමාජිකයින් විය. මොවුහු හැම දෙනාම තුන් හතර ක්‍රමයකට එකිනෙකාට නෑදෑ වූහ. මේ හැම කෙනෙක්ම ඉතා සූක්ෂම අපචාරවත් ජීවිත ගත කළ අතර මේවා විස්තර සහිතව තම පුත්‍රයා සමඟ සාකච්ඡා කරන්නට බලාපොරොත්තුව සිටි ඈ ඒ වෙනුවට දුක්මුසුව කවුළුවෙන් පිටත බලාගෙන ගමන් කළා ය. හසන් විස්තරයක් අහන්නේ වත් නැති හැටි! මේ තරම් කාලයක් ගතව තිබුණු නිසා මීට වඩා හොඳ කතාබහක් ඔවුන් අතර ඇතිවෙනු ඇතැයි කෙනෙක් අපේක්ෂා කරන්නට ඉඩ තිබිණි. සුන් වූ බලාපොරොත්තු ඇය තුළ කෝපයක් ඇති කළේය. දැන් යමක් කිව යුතු ඇසිල්ලකදී පවා - එනම් විශාල ගොඩනැගිල්ලක් පසුවෙද්දී, නොඑසේ නම් නුපුරුදු සන්නාමයකින් යුත් මෝටර් රථයක් අඳුරේම ඔවුන් පසුකර යද්දී පවා- ඇය මුරණ්ඩු ලෙස නිහඬවම සිටියාය.

ඔවුන් නිවසට ළඟා වෙද්දී මැදියම් රැයට ආසන්න වී තිබිණි. හසන් ගේ නිවස හැර අන් හැම නිවසක්ම අඳුරේ ගිලී පසුවිය. ඇය සිතුවාට වඩා හසන්ගේ නිවස පැරණි එකක් විය. ඔහු පදික වේදිකාව අසල ඉතා කුඩා ඉඩක රථය ඉතා දක්ෂ ලෙස ගාල් කිරීමෙන්ම ඔහු දැන් වැටෙන් අනෙත් පසට, එනම් ඇමෙරිකානු පැත්තට අයත් බව පැහැදිලි විය. ඇයට තනිවම ලේලියට මුහුණ දීමට සිදුවනු ඇත.

“කොහොමද ඒක කියන්නේ?” නිවස ඉදිරිපස පඩිපෙළ නගිද්දී ඈ රහසින් ඇසුවාය.

“මොකක්ද?” හසන් ඇසුවේය.

“අරයාගේ නම. ලිස්බෙට් ද?”

“එලිසබෙත්. දන්නවානේ අර එලිසබෙත් ටේලර් වගේ.”

“ආ ඔව් ඔව්.” කී ඔහුගේ මව නිකට ඔසවා තම අත් බෑගයේ පටි තදින් අල්ලා ගත්තාය.

එලිසබෙත් නිල් පැහැති ජීන්ස් කලිසමක් ඇඳ බූල් සෙරෙප්පු යුවලක් පැළඳ සිටියාය. සේද වැනි ව දිස් වූ ඇගේ රන් පැහැති කොණ්ඩය කොටට කපා තිබිණි. ඇගේ මුහුණේ තිබුනේ කුඩා දරුවෙක්ගේ වැනි නිදිමත, බැරෑරුම් පෙනුමකි. ඇය දොර විවර කළ වහාම “සලාම් මලෙයිකුම්” කීවාය. පිළිගැනීම සඳහා යෙදුණු මේ පර්සියානු වැකිය අසා මහත් සේ සතුටු වූ අර්ඩාවී මහත්මිය ඇයව තදින් වැළඳගෙන දෙකොපුලම සිප ගත්තාය. ඔවුහු ඇයව විසිත්ත කාමරය වෙත කැඳවාගෙන ගියහ. මෙහි සුවපහසු පෙනුමක් තිබුණත් තරමක පාලු ස්වභාවයක් දැරීය. එහි වූ ලී බඩුවල ඍජු බවක් මිස ලාලිත්‍යයක් තිබුණේ නැත. බුමුතුරුණුවලද ලස්සනක් නොවිණි. නමුත් ජනෙල් තිර වල නම් අමුතු ලස්සන මෝස්තරයක් ඇයගේ ඇස ගැටුණි. කාමරයේ කෙළවරක දිස්නය දෙන කුඩා රතු සෙල්ලම් මෝටර් රථයක් වූ අතර එහි අංක පුවරු පවා විය.

“මේක දරුවාගේ ද?” ඇය ඇසුවාය. “හිලරිගේ?” ඒ නම කියද්දී ඇය මඳක් පැකිලුනාය. “මට එයාව බලන්න පුලුවන්ද?”

“දැන්?” හසන් ඇසුවේය.

“ඒකට කමක් නැහැ” යැයි හසන්ට කී එලිසබෙත් (ගැහැනුන්ට මෙවැනි දේ වැටහේ) තම නැන්දම්මාව කැඳවාගෙන ගියාය. දෙවෙනි මහල දක්වා වූ තරප්පු පෙළ ඔවුන් නැංගේ එකටයි. ඉනික්බිති ඔවුන් එළඹුණු කුඩා කාමරයෙන් හැමුවේ කිරි ත්, රබර් සෙල්ලම් බඩුත්, ටැල්කම් පුයරත් ආදිය මුසු වූ පුසුඹකි. මේ සුවඳවල් ඇයට ඕනෑම තැනකදී හැඳිනිය හැකිව තිබිණි. කොරිඩෝවෙන් විහිදුණු ලා එළියෙන් වුව හිලරි ලස්සන දරුවෙක් බව ඇයට පැහැදිලිව පෙනුණි. ඇයට කළු පැහැති කෙස් ද, කළු ඇස් පිය ද, හසන් ගේ හමට වඩා ලා පැහැති තිරිඟු පාටැති සමක්ද තිබිණි.

“මේ ඉන්නේ” එලිසබෙත් කීවාය.

“බොහොම ස්තූතියි.” අර්ඩාවී මහත්මිය පිළිතුරු දුන්නාය. ඇගේ කටහඬ බැරෑරුම් බවක් පෙන්වුවද ඈ සිටියේ මේ තමන්ගේ පළමු මිනිබිරිය යන සිතිවිල්ලෙන් නැවත පියවි ලොවට ඒමට අපහසුවෙන් උත්සාහ කරමිනි. ඉනික්බිති ඔවුහු නැවත කොරිඩෝව වෙත ආහ.

“මම එයාට පදක්කම් ටිකක් ගෙනාවා. ඔයා අකමැති වෙන එකක් නැහැ කියලා මම හිතනවා”

“පදක්කම්?” එලිසබෙත් සැකයෙන් මෙන් නැවත කීවේ එහි උච්ඡාරණය වරද්දමිනි.

“අල්ලාහ් ගේ එකකුයි කුරානයේ එකකුයි විතරයි. ඒවා බොහොම පුංචියි, තියෙනවා කියලා පේන එකක්වත් නැහැ. පදක්කම් නැතිව දරුවෙක් මට දැකලා පුරුදු නැහැ, එතකොට මම වධ වෙන්න ගන්නවා.”

ඇය ඉබේ මෙන් ගෙල වටා රන් දමක් ඇති අයුරු ඇඟිලි තුඩින් පෙන්වා ගෙල මුල ඇඟිලි නතර කළාය.

“ආ!... පදක්කම්,” එලිසබෙත් යමක් වැටහුණු බව පෙන්වා හිස සැලුවාය.

“කමක් නැද්ද?”

“ආ කමක් නැහැ,”

මින් අර්ඩාවී මහත්මියගේ සිත පැහැදුණි. “හසන් නම් මේවාට හිනාවෙනවා. එයා ඕවා විශ්වාස කරන්නේ නැහැ. ඒත් එයා එහෙන් එද්දී මම එයාගේ ගමන් මල්ලේ සාක්කුවකට යාඥාවක් ලීව කොලයක් දැම්මා. දැන් බලන්නකෝ එයාව ආරක්ෂා වුණානේ. ඒ වගේම තමයි හිලරිට මෙයින් පදක්කමක් පැලැන්දුවොත් මට රෑට නින්ද යයි.”

“අනිවාර්යයෙන්” එලිසබෙත් කීවාය.

ඔවුන් නැවතත් විසිත්ත කාමරයට ඇතුල් වන විට අර්ඩාවී මහත්මිය සිටියේ සිනාසෙමිනි. හිඳගැනීමට පෙර ඇය හසන් ගේ හිස් මුදුන සිප ගත්තාය.


~~~~~~~~~~~~~

ඇමෙරිකාවේ දවස් ඉතා කාර්යබහුල විය. ඒවා උදේ වරු, හවස්වරු ලෙස නොව 9.00, 9.30 ආදී වශයෙන් ඒ එක් එක් කාණ්ඩයට වෙන්වූ ක්‍රියාකාරකම් සහිතව අපූරු ලෙස බෙදී තිබිණි. “මෙහෙ අය හරි සැලසුම්සහගතව වැඩකරන්නේ. මගේ ලේලි එක විනාඩියක්වත් අපතේ අරින්නේ නැහැ” අර්ඩාවී මහත්මිය සිය සොයුරියන්ට ලියා යැව්වාය. “මොන තරම් කරදරයක්ද?” ඔවුහු පිළිතුරු එවූහ. ටෙහෙරාන්වල ජීවත් වූ ඔවුහු දවස් ගත කළේ නොකඩවා තේ බොමින් සහ ඊළඟට ඔවුන්ගේ නිවෙස්වලට පැමිණෙන අමුත්තන් කවුදැයි අලසව අනුමාන කරමිනි.

“නැහැ ඔයාලා වැරදියට තේරුම් අරන් තියෙන්නේ,” අර්ඩාවී මහත්මිය ඊට විරුද්ධ වූවාය. “මේ ක්‍රමයට මම කැමතියි. මම දැන් හොඳට හැඩ ගැහෙමින් ඉන්නේ.”

“මම දැන් නිකම් ඇමෙරිකන් වගේ, කිසිකෙනෙක් මම එහෙම නැති බවක් විශ්වාස කරන්නේ නැහැ.” ඇය තම බාලම සොයුරියට කියා යැව්වාය. මෙය සත්‍යයක් නොවූවත් ඉදිරියේදී එය සත්‍යයක් වනු ඇතැයි ඇය බලාපොරොත්තු වුවාය.

හසන් වෛද්‍යවරයෙක් විය. ඔහු උදෑසන හයේ සිට හවස හය දක්වා බොහෝ දිගු කාලයක් රාජකාරී කළේය. ඇය උදෑසන යාඥාව සඳහා පිරිසිදු වෙද්දී ඔහු හඬ නොනැඟෙන සේ තරප්පුව බැස ඉදිරිපස දොරින් නික්මෙන හඬ ඇයට ඇසේ. ඔහුගේ මෝටර් රථය පණ ගැන්වෙද්දී නිවසේ පහළ පෙදෙසින් ගැඹුරු හඬක් නැඟෙන අතර එය රත් පැහැති පත්‍ර රැසක් විසිරුවමින් පාරට හරවා වංගුවෙන් නොපෙනී යන අයුරු ඇගේ නානකාමරයේ කවුළුවෙන් දිස් වේ. එවිට ඇය සුසුමක් හෙලා නැවත කරාමය වෙත පැමිණෙන්නීය. යාඥාවට පළමුව ඇය මුහුණත්, දෑත ත්, දෙපතුලත් සේදිය යුතු විය. ඉන්පසු තෙත ඇඟිලි තුඩු හිසකෙස් බෙදෙන ඉර හරහා රැගෙන යා යුතු විය. ඉනිබිති කාමරයට යන ඈ ඇගේ දිගු කළු සාලුව මනාසේ ඔතාගෙන පබළු ඇල්ලූ විල්ලුද යාඥා බුමුතුරුණ මත දණ ගසන්නීය. නැගෙනහිර දිශාව තිබුණේ කාමරයේ කවුළුව පිහිටා තිබුණු පැත්තෙනි. මල් සහිත තිර රෙදි තිබුණු මේ කවුළුව උදෑසනට බොඳ වී පෙනුණි. කාමරයේ නැගෙනහිර බිත්තියේ ඇය කලිෆ් අලි ගේ රුවක් සහ ඇගේ තෙවෙනි පුත් බබාක්ගේ වර්ණ ඡායාරුපයක් එල්ලා තිබිණි. මේ ගමන පැමිණෙන්නට මාස කීපයකට පෙර ඇය බබාක්ගේ මංගල්ලය සූදානම් කළාය. බබාක් කසාද නොබැන්දේ නම් ඇයට මේ ගමන එන්නට නොහැක. ඔහු පවුලේ බාලයා වූ අතර නිවසේ ඉතිරි වූ එකම දරුවා වීම නිසා නරක් වී සිටියේය. ඔහුට සුදුසු බිරිඳක් සෙවීමට ඇයට තෙවසරක් ගතවිය. (පළමුවැන්නිය නවීන වැඩිවූ අතර දෙවැන්නිය කම්මැලි වැඩි විය. තවත් එකියක් කෙතරම් සර්ව සම්පූර්ණද යත් ඇය සැක සහිත විය) නමුත් අවසානයේදී සුදුසු ගැහැනු ළමයෙක් හමුවිය. නිරහංකාර, යහපත් ගති පැවතුම් ඇති ඇයට ගැලපෙන තරමට පුළුල් උකුලක්ද තිබිණි. ඒ විවාහයෙන් පසු නව යුවලත් අර්ඩාවී මහත්මියත් ටෙහෙරානයට කිට්ටු පෙදෙසක අලංකාර නව නිවසක පදිංචි වූහ. දැන් ඇය යාඥා කරන හැම වාරයකම තමන්ගේ මහලු විය ගත කිරීමට නිවසක් තිබීම ගැන ස්තූතිවන්ත වීමට අමතක කළේ නැත. ඉන්පසු ඈ සාලුව ගලවා ප්‍රවේශමෙන් ලාච්චුවකට දමා වසන්නීය. තවත් ලාච්චුවකින් ඇය පිටතට ගන්නේ ගනකම් කපු මේස් යුවලකි. මේවා පැළඳ, තම ඉදිමුණු දෙපා ඉදිරිපසින් විවර පාවහන් යුවලක් තුළට ඔබා ගන්නීය. පිටතට නොයන්නේ නම් ඈ නිතරම ඇන්දේ බුරුල් ගවුමකි. ඇමෙරිකානුවන් තම ඇඳුම් වෙනුවෙන් කෙතරම් නාස්තිකාරද යන වග ඇයව පුදුම කළේය.

මේ වෙද්දී පහත මාලයේ එලිසබෙත් ඇය වෙනුවෙන් තේ කෝප්පයක් සකසා කර කරන ලද පාන් පෙත්තක බටර් තවරා තබයි. එලිසබෙත් සහ හිලරි කෑවේ බේකන් සහ බිත්තර වූ නමුත් බේකන් යනු අපිරිසිදු දෙයක් බැවින් ඇය ඒවා ආහාරයට ගත්තේ නැත. කිසිවෙක් වත් ඇයට ඒවා දෙන්නට උත්සාහ කළේද නැති නමුත් වරක් හසන් විහිලුවට මෙන් බේකන් පිඟාන ඇය වෙත පෑවේය. තරප්පුව බසිද්දීම ඇයට ඒවායේ සුවිශේෂී දුම් සහිත සුවඳ දැනුණි. “මේවා මොන රසද?” ඇය හැම විටම ඇසුවේ ඒ ගැන දැනගැනීමට ඇයට මහත් නොඉවසිල්ලක් දැනුණු බැවිනි. නමුත් එලිසබෙත් ගේ පර්සියානු වචනාවලිය බේකන් රස විස්තර කිරීමට ප්‍රමාණවත් නොවීය. එය ලුණු රස බව කී ඇය සිනාසී විස්තර කිරීමේ උත්සාහය අත්හැර දැමුවාය. අමාරු වචනවලින් ඇතිවෙන මාර්ග බාධක මඟ හරිමින් පහසු සාමීචි මාර්ගයක ගමන් කිරීමට ඔවුන් දෙදෙනා මුලදීම හුරු වී තිබිණි.

“හොඳට නින්ද ගියාද?” එලිසබෙත් හැමදිනකම තමන්ගේ අමුතු ළමා උච්ඡාරණයෙන් අසන්නීය. “තරමක්” අර්ඩාවී මහත්මිය ඊට පිළිතුරු දෙන්නීය. ඉනික්බිති දෙදෙනාම හැරී හිලරි දෙස බලති. උස් පුටුවක් මත හිඳ ස්ක්‍රැම්බල් කළ බිත්තර කමින් සිටින හිලරිගේ ගෙල පසුපසින් හීනි පර්සියානු රන් දම්වැලක් දිස් වේ. හිලරි අසලක සිටින විට කතාබහ පහසු සහ ඇතැම්විට අනවශ්‍ය විය.

උදේ වරු වලදී එලිසබෙත් නිවස පිරිසිදු කළාය. අර්ඩාවී මහත්මිය ඒ වෙලාව පාවිච්චි කළේ ලිඋම් ලිවීමටයි. තම නැන්දනියන්ට, මාමාවරුන්ට සහ ඇගේ සොයුරියන් දහතුන්දෙනාට ලියුම් ලිවිය යුතුව තිබුණු බැවින් ඇයට ලියුම් දුසිම් ගණන් ලියන්නට තිබිණි. (ඇගේ පියාට බිරින්දෑවරුන් තිදෙනෙක් සිටි අතර ඒ කාලයේ හැටියටත් ඒ දරුවන් සංඛ්‍යාව පුදුම සහගත විය.) මීට අමතරව බබාක්ට ද ලිවිය යුතු විය. ඔහුගේ බිරිඳ දෙමස් ගැබිනියක් වූ නිසා අර්ඩාවී මහත්මිය ඇමෙරිකානු ක්‍රමයට දරුවන් හදා වඩා ගැනීම ගැන දිගු විස්තර ලිව්වාය. “මෙහෙ කරන සමහර දේවල් වලට මම එකඟ නැහැ,” ඈ ලීවාය. “එයාලා පරිස්සමට වැඩකාරයෙක්වත් නොතියා හිලරිට එළියේ තනියම සෙල්ලම් කරන්න ඉඩ දෙනවා.” මෙසේ ලියද්දි ඈ මොහොතකට අවධානය බිඳී බිම හිඳ ‘කැප්ටන් කැන්ගරු’ නම් වැඩසහනක් රූපවාහිනියේ නරඹන හිලරි දෙස කල්පනාකාරීව බලා සිටියි.

අර්ඩාවී මහත්මියගේ ළමා කාලය නම් දරුණු එකක් විය. වයස නමයේ සිට ඇය හිස වසන සාළුවක් පැලඳු අතර මහමඟ යද්දී එහි කෙළවරක් දත් අතර රඳවාගෙන මුහුණ වසා ගන්නට උත්සුක වූවාය. ඇගේ පියා සමාජයේ පිළිගැනීමක් තිබුණු පුද්ගලයෙක් වූවත් ඔහු වැඩකාර කෙල්ලන්ව නිවසේ කොරිඩෝ ඔස්සේ එළවමින්, සිනාසෙමින් ඔවුන්ව හිස් නිදන කාමරවල කොටු කරගනිමින් කාලය ගත කළේ ය. තම මව දරු ප්‍රසූතියකදී අධික ලේ වහනයෙන් මිය යන අයුරු බලා සිටීමට බල කෙරෙද්දී ඇයට වයස දහයකි. ඒ වෙලාවේ ඇය භීතියෙන් කෑ ගැසුවත් වින්නඹු කාන්තාව ඇයට අතුල් පහරක් දී ඇය විසින් මවට හාදුවක් දී හරියාකාරව සමුදෙන තෙක් ඇයව තරයේ අල්ලා සිටියාය. ඕවරෝල් කලිසමක් හැඳ සිටින මේ කුඩා ඇමෙරිකානු දැරිය සහ තමන් අතර කිසිම සම්බන්ධයක් පෙනුණේ නැත. ඇතැම්විට හිලරි දඟ කරමින් කෝපය උත්සන්නව කෑ ගසා හඬද්දී එලිසබෙත් ඇයට පහරක් දෙන තුරු අර්ඩාවී මහත්මිය බලා සිටියේ බියපත් දෑසිනි. දැරියට එවැනි පහරක් නොලැබුණු විට ඇයට දැනුණේ සැනසිල්ලත් කෝපයත් මුසු හැඟීමකි. එවන් අවස්ථාවලදී “ඉරානේදී නම් අපි…” යැයි ඈ කියන්නට පටන් ගත්තද ඒ අසලක හසන් සිටියේ නම් ඔහු “ඒත් මතකයිනේ, අපි ඉන්නේ ඉරානේ නෙමෙයිනේ?” යැයි කියයි.

දිවා අහාරයෙන් පසු හිලරි නින්දට වැටෙන්නීය. අර්ඩාවී මහත්මියද ඉහළ මාලයට යන්නේ දිවා යාඥාව සිදුකර මඳක් නිදාගැනීමටයි. ඉනික්බිති ඇය ඇතැම් දවස්වලට තමාගේ නාන තටාකයේ රෙදි සෝදා ගනියි. මේ නිවසේ රෙදි සෝදා ගැනීම ගැටළුවක් විය. අර්ඩාවී මහත්මිය එලිසබෙත්ට කැමති වූවත් ඇය ක්‍රිස්තියානි ආගමට අයත් බැවින් අපවිත්‍ර කෙනෙක් ලෙස සැලකුවාය. ක්රිස්තියානුවෙක් ලවා මුස්ලිම් කෙනෙක්ගේ රෙදි සෝදාගැනීම නොතරම් විය. මීට අමතරව අපවිත්‍ර ක්‍රිස්තියානුවෙක්ගේ යට ඇඳුම් පවා සේදීමට යොදාගන්නා බැවින් රෙදි සෝදන යන්ත්‍රයද අපවිත්‍ර සේ සැලකිණි. මේ හේතු කාරණා නිසා තෙත රෙදි වනන්නට ඇඳුම් වැටක් ගෙන දෙන ලෙස ඈ හසන් ට කීවාය. පෙට්ටියක අසුරා පැමිණි එහි කොටසින් කොටස එක් කර තනා දුන්නී, එලිසබෙත් ය. ඉනික්බිති අර්ඩාවී මහත්මිය එය නානකාමරයේ වතුර මල යටට අල්ලා සෝදා දැමුවේ යම් අපවිත්‍ර බවක් ඉතිරිවී ඇත්නම් එය ඉවත් කිරීමටය. මෙවැනි අවස්ථාවලදී කළ යුත්තේ කුමක්දැයි කුරාණයේ පැහැදිලි කර තිබුණේ නැත.

හවස් වරුවේ, හිලරි නින්දෙන් අවදි වූ විට ඔවුහු උද්‍යානය වෙත ඇවිදින්නට ගියහ. එලිසබෙත් හැමදිනකම මේ ගමනට නිල් පැහැති ජීන්ස් කලිසම් ඇන්දාය. අර්ඩාවී මහත්මිය සාලුවෙන් හිස ආවරණය කරගෙන ගිය අතර තම ඉදිමුණු පාද කුඩා පාවහන් වල රුවාගෙන ගමන් කළ නිසා ඈ තැබුවේ කෙටි පියවරයන් ය. මේ වෙද්දී හසන් ඇගේ දත් දැක තිබුණු නමුත් ඒ සම්බන්ධයෙන් කිසිවක් කර තිබුණේ නැත. ඔහුට ඒ ගැන අමතක වේ යැයි ඇය ප්‍රාර්ථනා කරමින් සිටියත් ඇය සිනාසෙන හැමවිටකම ඇගේ මුවේ හිඩැස් සහිතව පිහිටා තිබුණු දුඹුරු පැහැති වූ දත් පහ දකිද්දී ඔහුට එය නැවත සිහිගැන්වෙන අයුරු ඇය දුටුවාය.

උද්‍යානයේදී නම් ඇය බොහෝ සෙයින් සිනාසුණාය. එතැන සිටි අනෙත් කාන්තාවන් සමඟ සන්නිවේදනය කිරීමට ඇයට තිබුණු එකම මඟ එයයි. ළමුන්ගේ සෙල්ලම් පිටිය වටා පිහිටා තිබුණු බංකුවල හිඳ සිටි ඔවුහු ඇසූ ප්‍රශ්න එලිසබෙත් පරිවර්තනය කරද්දී අර්ඩාවී මහත්මිය නොකඩවා හිස සලමින් සිනාසුණාය. “එයාලා අහනවා ඔයා මෙහෙට කැමතිද කියලා.” එලිසබෙත් කීවාය. අර්ඩාවී මහත්මිය මේවාට දීර්ඝ පිළිතුරු දුන් නමුත් එලිසබෙත්ගේ පරිවර්තන නිතරම කෙටි විය. ටික වෙලාවකට පසු සෙසු කාන්තාවන්ට ඇයව අමතකව ගොස් ඔවුන්ගේ කතාබහ දිගින් දිගටම සිදු විය. අය නිහඬව ඔවුන්ගේ සෙලවෙන තොල් දෙස බලා සිටියාය. ඉඳහිට “ටෙලිෆෝන්, ටෙලෙවිෂන්, රේඩියෝ’ වැනි ඇයට හුරු වචන මේ කතාබහ අතරේ කියවිණි. ඇමෙරිකානු කතාබහ වල - කාන්තාවන් අතරේ කතාබහවල පවා- අන්තර්ගතය තාක්ෂණික පැත්තට නැඹුරුයැයි මේ නිසා ඇයට සිතුණි. ඔවුන්ගේ අභිනයන්ගෙන් දිස් වූයේද අලස සහ පෘථුල බවකි. ඇමෙරිකාවේ හැම කෙනෙක්ම ඉතා කලබල බවට තම නංගී කළ ප්‍රකාශය මෙයින් සාවද්‍ය බවට පත්විය. ඇත්තටම නම් මෙහි දිස් වුයේ ඊට හාත්පසින්ම වෙනස් වූ දෙයකි. වෙන්ව යන වෙලාව එළැඹි විට මේ කාන්තාවන් නොවැම්බර් අහස යට තිබුණු පුළුල් තැනි අවකාශ හරහා තනිවම හෝ ජෝඩු ලෙස ඇවිද ගියේ සිහිනමය විලාශයෙනි.

ඔවුන් නැවත නිවසට ගිය පසු අර්ඩාවී මහත්මියට මේ කාන්තාවන් ගැන අසන්නට ප්‍රශ්න රැසක් තිබිණි. “අර රතු කෙස් තියෙන කෙල්ල- එයාට බබෙක් හම්බවෙන්න ඉන්නවාද? එයාගේ පෙනුමට මට නම් හිතුනේ එහෙමයි. අර මහත කෙල්ල, එයාගේ කසාදෙ ඉන්නේ සතුටින්ද?” තරමක් කලබලයෙන් මේ ප්‍රශ්න ඇසූ ඇය එලිසබෙත්ගේ පිළිතුරු පමා වෙද්දී නොඉවසිලිමත්ව ඇයගේ ඇඳුමද ඇද්දාය. මිනිසුන්ගේ පෞද්ගලික ජීවිතය ගැන ඇයට දැනුණේ මහත් උනන්දුවකි. සෙනසුරාදාට වෙළඳසැලට යන හැම ගමනකදීම ඇය අවධානය දීමට එක් සුවිශේෂී නාඳුනන අයෙක් තෝරාගත්තාය. “අර වෙව්ලනවා වගේ පේන මිනිහාට මොකද වෙලා තියෙන්නේ? අර කෙල්ල - ඒ අර ඔයාලගේ රටේ ඉන්නවා කියන කළු හම තියෙන ජාතියේ කෙනෙක්ද?” එලිසබෙත් මේවාට පිළිතුරු දුන්නේ මහත් සේ බාල කරන ලද හඬින් වූ අතර අර්ඩාවී මහත්මියගේ ඇඟිලි දිගු කිරීම් නොදුටු ලෙසින් ඇය හැසිරුණාය.

රෑ කෑම නිරතුරුව දුෂ්කර විය. අර්ඩාවී මහත්මිය ඇමෙරිකානු කෑම ප්‍රිය කළේ නැත. එලිසබෙත් ඉරානියානු කෑමක් පිළියෙළ කළත් එහි ඇමෙරිකානු රැසක් දැනුණි. එක්කෝ එහි එළවලු අමු විය. නැත්නම් එහි ළූණු දුඹුරු පැහැතිව මනා සේ බැදී තිබෙනු වෙනුවට විනිවිද පෙනෙන පෙනුමෙන් යුතු විය.

“එළවලු හොඳට ඉවිලා නැත්නම් ඒවායේ අම්ල ගතියක් ඉතුරුවෙනවා,” අර්ඩාවී මහත්මිය තම ගෑරුප්පුව නැවත මේසය මත තබමින් කීවාය. “එතකොට මලබද්ධය, බඩේ ගායවල් එහෙම හැදෙනවා. රෑට මට නිතරම පපුවේ දැවිල්ල හැදෙනවා. දැන් දවස් තුනකින් මම වැසිකිලි ගිහින් නැහැ.”

මෙය අසා එලිසබෙත් නම් තම පිඟාන වෙතම හිස ඔබා සිටි අතර මීට පිළිතුරු ලෙස තමන්ගේ ආබාධ ගැන කිසිවක් නොකීවාය.

“මේවා කෑම මේසේදී කියන්න ඕනද ඛානොම්? කෑම මේසේදී?” හසන් කීවේය.

ටික දිනකට පසු තමන් වෙනුවෙන් කෑම පිසගැනීමට අර්ඩාවී මහත්මිය තීරණය කළා ය. එලිසබෙත් ගේ විරෝධය මැද ඇය හැම දිනකම හවස තුනට මේ කාර්යය ඇරඹු අතර මෙයින් නිවසම කුළුබඩු පුසුඹෙන් පිරී ගියේය. හට්ටි මුට්ටි තැබීමට කුස්සියේ කවුන්ටරය මත ඉඩකඩ මදි වූ විට ඇය ඒවා බිම පුරා ද පෙළ ගැස්වූවාය. තම සාය දෙදන අතර රඳවාගෙන, බිම ඇන තියාගන්නා අර්ඩාවී මහත්මිය ලියන ලද කොළ වර්ග පුරවන ලද විශාල භාජන හැඳි ගෑවාය. ඇයට පසුපසින් ගෑස් උදුන මත ලිප් හතරක හට්ටි හතරක් දුම් දමමින් තිබෙනු දිස් විය. දැන් දැන් මේ කුස්සිය තමන්ගේ නිවසේ කුස්සියට සමාන වෙමින් පවතින බව ඇයට සිතුණි. ලිපට පසෙකින් බඳුනක මුදවූ කිරි බඳුනක් පැසෙමින් තිබිණි. වතුර කරාමය අසල බේසමේ තවත් බඳුනක හාල් පෙඟෙන්නට හැර තිබුණු අතර පිඟන් සෝදන යන්ත්‍රයේ උඩ කොටසේ සැෆ්රන්හි තද කහ පැහැති කහට රටා පෙනුණි. පුඩින් සාදන තැටිය කළු පැහැ ගැන්වී කුස්සියේ එක් කෙළවරක විය. එය කළු වී තිබුනේ අර්ඩාවී මහත්මියගේ බඩවැල් වල ක්‍රියාකාරිත්වය වැඩි කිරීමට රසකැවිලි සෑදීම වෙනුවෙන් නිරතුරුව සීනි උණු කිරීමෙනි.

“මේ තමයි ඔයාගේ විවේක වෙලාව,” ඈ නිතරම එලිසබෙත් ට කීවාය. “ඔයා පුදුම වෙන්න බලාගෙන තව පැය තුනකින් කෑම මේසයට එන්නකෝ.” නමුත් එලිසබෙත් කළේ කුස්සියේ දුම් පිරුණු නිස්කලංක පරසරයට බාධා කරමින් දෑත් බැඳ එහි එහා මෙහා සක්මන් කිරීම පමණි. ඇය වතුර කරාමයත් උදුනත් අතර ඉඩකඩේ ඇවිද්දේ ශබ්ද නඟා හට්ටි මුට්ටි නැවත ලාච්චුවලට දමමිනි. රෑ කෑම වෙලාවේදී ඈ ආහාර ගත්තේ ඉතා කුඩා ප්‍රමාණයකි. ඇමෙරිකානුවන් මෙතරම් ආහාර ස්වල්පයකින් මෙතරම් උස යන්නේ කෙසේදැයි අර්ඩාවී මහත්මිය කල්පනා කළා ය. නමුත් හසන් නම් දෙතුන් වර කෑම බෙදාගත්තේය. “මම හිතන්නේ මම සතියකට රාත්තල් පහක් විතර බර වැඩිවෙනවා මේ දවස්වල,” ඔහු කීය. “මගේ ඇඳුම් ඔක්කොම මදි.”

“අහන්නත් සන්තෝසයි,” ඔහුගේ මව පිළිතුරු දුන්නාය. මීට එලිසබෙත් යමක් ඉංග්‍රීසියෙන් කී අතර හසන් ද ඊට පිළිතුරු දුන්නේ ඉංග්‍රීසියෙනි. දැන් දැන් ඔවුහු තරමක් දීර්ඝ වශයෙන් ඉංග්‍රීසියෙන් කතාකරමින් සිටියහ. එලිසබෙත් තම පිඟාන වෙතම නෙත් යොමා සෙමෙන් කතාකළ අතර හසන් ඊට දීර්ඝ පිළිතුරු දෙද්දී ඇතැම් විට මේසය හරහා අතක් දිගු කර ඇයගේ අතද අල්ලා ගත්තේය.

තම රාත්‍රී යාඥාව අවසන් වූ පසු අර්ඩාවී මහත්මිය සාලයේ සෝපාවේ හිඳ රූපවාහිනිය නැරඹුවාය. ඇය තම සාලුවද ගෙනැවිත් එය හොඳින් ඔතා ගත්තේ සීතල වළක්වා ගැනීමටයි. ඇයගේ පාවහන් ඇයගේ දෙපා මුල ගලවා තිබූ අතර ඇය අසල සෝපාවේ ඇගේ ගෙතුම් ද්‍රව්‍ය සහිත මල්ලත්, සීනි උණුකර සාදාගත් රසකැවිලි මල්ලත්, අත් කාචයත්, “මගේ ප්‍රථම රන්වන් ශබ්ද කෝෂය’ නම් පොතත් විසිරී තිබිණි. එලිසබෙත් සැප පුටුවක හිඳ නවකතා කියෙව්වාය. හසන් ද රූපවාහිනිය නරඹමින් සිටියේ කතාවේ තේරුම් ගැනීමට දුෂ්කර කොටස් පරිවර්තනය කිරීම සඳහා ය. නමුත් මේ ඇමෙරිකානු චිත්‍රපටිවල- වැඩියත්ම ගොපලු චිත්‍රපටිවල- කතාව අනුමාන කර තේරුම් ගැනීම අර්ඩාවී මහත්මියට දුෂ්කර වූයේ නැත. රූපවාහිනියේ විකාශය වන වැඩසටහන කම්මැලි එකක් නම් - එක්කෝ වාර්තා වැඩසටහනක් හෝ ප්‍රවෘත්ති විකාශයක් නම්- ඇය කාලය ගතකිරීමට හසන් සමඟ කතාබහ කළා ය.

“ඔයාගේ නෑනා, ෆාරා ලියුමක් එවලා තිබුණා,” ඈ කීවාය. “ඔයාට එයාව මතකද? කැත කළු කෙල්ලෙක්. අන්න එයා දික්කසාද වෙන්නලු යන්නේ. මම නම් හිතන්නේ එහෙම වුණ එක හොඳයි, ඒ මනුස්සයා අඩු කුලේක. ඔයාට ෆාරා ව මතකද?”

මීට පිළිතුරු ලෙස හසන් උගුරෙන් ශබ්දයක් නැඟුවා පමණි. ඔහු ඇමෙරිකාවේ දේශපාලනය ගැන විශේෂ උනන්දුවක් දැක්වූවේය. ඇයද ඒ ගැන උනන්දු වූ කාලයක් තිබිණි. කෙනඩි ජනාධිපතිතුමා ඝාතනය කරන ලද විට ඈ ඔහු වෙනුවෙන් වැළපුණු අතර ඔහුගේ බිරිඳ ජැකී ගේ සේයාරුවක් තම පසුම්බියේ රුවාගෙන සිටියාය. නමුත් මේ ප්‍රවෘත්ති වැඩසටහන් දීර්ඝ කම්මැලි ඒවා විය. හසන් සාමීචියට ලෑස්ති නැති විට ඇයට තම ‘රන්වන් ශබ්දකෝෂය’ වෙත යොමු වීමට සිදු විය.

ඇගේ ළමා කාලයේදී ඇයට මිළ අධික විදෙස් ගුරුවරුන් උගන්වනු ලැබීය. ඇගේ ලොකුම වත්කම ඇගේ බුද්ධිය වූ අතර එය ඇයගේ අලංකාරයක් රහිත විශාල මුහුණත් තරබාරු ඇඟත් වෙනුවට ලැබුණු වන්දියක් වැනි විය. නමුත් මේ වෙද්දී ඈ උගත් දේ එක්කෝ සම්පූර්ණයෙන් අමතකව නැත්නම් ගතවූ කාලය නිසා බොඳවී ගිලිහී ගිය බවක් ඇයට දැනුණි. මතකයේ පතුළ අතගා ඇය මතු කරගත් ඇතැම් දේ හසන්ට කී විට ඔහු කලේ උපාහාසත්මක හඬක් නැඟීම පමණි. ඈ උගත් සියලු දේ මනස වෙත ළඟා වීමට නම් යම් ගනකම් ස්තරයක් පසු කළ යුතු වූවා මෙනි.

“ටොන්ක් යූ” ඈ උච්ඡාරණය කරන්නට පුරුදු වූවාය. “ටොන්ක් යූ, ටොන්ක් යූ”

“තෑන්ක් යූ,” හසන් ඇයව නිවැරදි කළා ය. ඇයට ප්‍රයෝජනවත් වේ යැයි ඔහු සිතන වදන් කිහිපයක් ඔහු පොතෙන් පෙන්වා දුන්නේය. වෙළඳ සැලක දී භාවිත වන වචන, ගෙදර එදිනෙදා භාවිත වන වචන. නමුත් මේවායේ දරදඬු බව හමුවේ ඇයට මහත් නොඉවසිල්ලක් දැනුණි. ඇයට අවශ්‍ය වූයේ ඒ භාෂාවෙන් ඇගේ පෞරුෂ ලක්ෂණත්, ඇගේ ප්‍කට ආචාරශීලී බවත්, මිනිස් ජීවිත පිළිබඳව ඇය සතු මායාකාරී ඉවත් පෙන්නුම් කිරීමයි. හැම රාත්‍රියකම ඇය ‘ලුණු’, ‘පාන්’, ‘හැන්ද’ ආදී වචනවලට අදාළ ඉංග්‍රීසි වචන පාඩම් කළේ නැගී එන උදාසීන බවකිනි. හැම උදයකම ඇය අවදිවෙද්දී ඇගේ ඉංග්‍රීසි හැකියාව ‘තෑන්ක් යූ’ සහ ‘NBC’ යන දෙවදනට සීමා වී තිබිණි.

මේ අතරේදී එලිසබෙත් එක් පොතක් කියවා අවසන් කර හිස ඔසවන්නේද නැතිව ඊළඟ පොත අතට ගත්තාය. හසන් නියපොත්තක් හපමින් ආණ්ඩුකාරවරයෙක්ගේ කතාවක් දෙස බලා සිටියේය. ඔහුට බාධා කළ යුතු නැති බව දැන සිටියත් ඇයට විටින් විට අනෙත් පසින් ඉතා සෙමෙන් ඇසෙන පොතක පිටු පෙරලන හඬ තව දුරටත් අසා සිටිය නොහැකි වූ අතර තමන් කතා කළ යුතුම බවක් හැඟිණි.

“හසන්?”

“හ්ම්ම්.”

“මගේ පපුව නිකම් හිරවෙනවා වගේ. මට හිතෙන්නේ මට හෙම්බිරිස්සාවක් හැදීගෙන එනවා වගේ. ඔයා ළඟ මුකුත් ටොනික් එකක් නැද්ද ඒකට?”

“නැහැ” හසන් පිළිතුරු දුන්නේය.

ඔහු දවස තිස්සෙම රෝගීන්ගේ දුක් ගැනවිලි අසමින් ඔවුන්ට බෙහෙත් දෙමින් කාලය ගත කළ අයෙකි. විචාර බුද්ධිය ඇයට කීවේ නිහඬ වන ලෙසයි. නමුත් ඇගේ දිවට නිදහසේ ඉන්නට ඉඩ නොදෙන යක්ෂයෙක්ගේ මෙහෙයවීම නිසා ඇය තවත් දොඩමලු වූවාය.

“සිරප් එකක්වත් නැද්ද ඔයා ළඟ? අර ඔයා මට මලබද්ධයට දුන්නු දියරය, ඒක හරියන්නේ නැතිවෙයිද?”


“නැහැ, ඒක හරියන්නේ නැහැ,” හසන් කීය.

කුමක් හෝ ක්‍රමයකට ඔහු විසින් නිරතුරුව ඇයව මෙතැනට ගෙන එන ලදී. ඔහු වඩාත් අඩුවෙන් දෙද්දී ඇය වැඩි වැඩියෙන් ගන්නටම යොමුවිය.

“එහෙනම් ඇස්ප්‍රින්? විටමින් මොනවාහරි?”

“මට මේක බලන්න දෙනවද?” අන්තිමේදී හසන් කීවේය.

එවන් අවස්ථාවල ඇය එක්කෝ නැවතත් නිහඬ වන්නීය. නොඑසේ නම් තම බඩුමුට්ටු එක් රැස් කරගෙන ඔවුන්ට සුබ රාත්‍රියක් පතා එතැනින් ඉවත්ව යන්නීය.

ඇයට හොඳ නින්දක් ලැබුණේ ද නැත. බොහෝ දිනවල ඇය පැය ගණන් අවදිව සිටියේ තම පොරෝනාවේ කෙළවරක් කොනහමින්, සිවිලිම දෙස බලාගත්වනම ය. පැරණි මැසිවිලි සහ චකිතයන්, කිසිදිනක යුක්තියක් නොලැබුණු අසාධාරණකම් සහිත මතක ඇගේ මතකයට ගලා එන්නට විය. වසර ගණනාවකට පසු ඇයට තම සැමියා සිහිවිය. ඔහු මුදු, දුර්වල පිරිමියෙක් වූවත් ඉඳහිට පුදුම සහගත ලෙස කෝප ගැන්විණි. ඔහු හා විවාහ වෙද්දී ඇයට ඔහු ගැන ආදරයක් දැනී තිබුණේ නැති අතර ඊට වසර හයකට පසු ඔහු අක්මාවේ අසනීපයක් නිසා මිය ගිය විට ඇයට වැඩියත්ම දැනුණේ නොරිස්සුමකි. එතරම් ලාබාල වයසකදී වැන්දඹු වීම සාධාරණ ද? වැඩියත්ම අනෙත් කාන්තාවන්ට නොකඩවා ආරක්ෂාවත් රැකවරණයත් ලැබෙද්දී? ඇය සැමියාගේ නිවසින් පිටව නැවතත් තමන්ගේ පවුලේ අය වෙත ගියාය. ඒ වෙද්දී එහි ඇගේ අවිවාහක සොයුරියෝ පස් දෙනෙක් විසූහ. බබාක්ගේ විවාහය වනතුරු ඇය තම සොයුරියන් සමඟ දවස පුරාම තේ බොමින් පවුලේ සියලු දේ මෙහෙයවීමට දායක වෙමින් මේ නිවසේ විසුවාය. මේ කාලයේදී විවාහයන් සූදානම් කිරීම්, අවමංගල්‍යයන්ට සහභාගී වීම්, දරු ප්‍රසූති ගැන සියුම් ලෙස සාකච්ඡා කිරීම් බොහෝ ප්‍රමාණයක් සිදු කෙරුණි. මීට අමතරව නිරතුරුව සේවකයන්ගේ ආරවුල් විසඳනු ලැබූ අතර පවුල් ආරවුල් විසඳීමත් නැවත ඇරඹීමත් සිදුවිය. ඇයගේ සැමියාගේ මුහුණේ මතකය බොහෝ ඉක්මණින් මැකී ගොස් ඒ වෙනුවට එහි ඉතිරි වූයේ හිස් තැනකි. නමුත් දැන් ඇයට ඔහුව පැහැදිලිව පෙනෙන්නට විය. මරණ මංචකයේ වැතිරී සිටි ඔහුගේ රැවුල වැවී තිබිණි, ඔහුගේ ජටාව බුරුල් වී ලිහෙමින් පැවතිණි. ඔහුගේ කාමරය හරහා දරුවන් ගැන සොයා බැලීමට ඔවුන්ගේ කාමරයට යන අතරතුරේදී වෙන කල්පනාවක පසුවෙමින් ම ඔහුගේ කොපුලකට තට්ටුවක් දමා යන ඇය දෙස ඊට වඩා යමක් ඉල්ලමින් ඔහු හෙලන බැල්ම දැන් ඇය පැහැදිලිව දුටුවාය.

පැදුරක හිඳ බත් කන ඇගේ කුඩා පිරිමි දරුවන් තිදෙනාගේ කෙසඟ මුහුණු ද ඇය මෙලෙසම දුටුවාය. ඔවුන් අතරින් හසන් හැමදාම මුරණ්ඩු, දඟ දරුවා වූ අතර දණහිස් වල නිරතුරුව තුවාල කැළැල් තිබුණේ ද ඔහුගේ ය. බබාක් සුරතලා විය. වැඩිමලා වූ අලි නිරතුරුව ගෙන ආවේ සිත් තැවුල් පමණි. ඔහු ද ඔහුගේ පියා මෙන්ම දුර්වල, අවධානග්‍රාහි පුද්ගලයෙක් වූවත් හිටි අඩියේ ම අනුන්ගේ හිත වශී කිරීමේ සමත්කමද ඔහුට තිබිණි. මීට වසර හතරකට පෙර ඔහු මොලයේ අභ්‍යන්තර ලේ ගැලීමක් නිසා මිය ගියේ ඈත ශිරාස් ප්‍රදේශයේ අවන් හලක රාත්‍රී ආහාර ගනිද්දීමය. ඔහු එහි ගොස් තිබුණේ දෙපසකින්ම ඇවැස්ස නෑකම් සහිතව විවාහ කරගත් තම බිරිඳගෙන් මිදීමටයි. ඔහු උපන්දා සිට ඔහුගේ මවට ඔහු නිසා නින්ද අහිමි විය. මුලදී ඇය තැවුනේ ඔහු ජීවිතයේ කුමක් කරගනීදැයි බියෙනි. දැන්, ඔහුගේ මරණයෙන් පසු ඇය තැවුනේ ඇය අතින් ඔහුට සිදුවුණු සියලු වැරදි සිහිපත් වීමෙනි. ඇය ඔහුට බුරුල දුන්නා වැඩියි. නැහැ ඔහු කෙරෙහි දැඩි වූවා වැඩියි. දැන් මේ කිසි දේකට පිළිතුරක් ලැබෙන්නේ නැත. ඇය අතින් වූ වැරදි අවතාර ලෙසින් සිවිලිම වෙත පාවුණි. වැරදි බව දැන දැනත් ඔහුට ලබා දුන් සහන. ඔහුට හිමි නොවිය යුතු ආරක්ෂාවන්, ඇයගෙන් ලැබුණු, ඔහුට හිමි නොවිය යුතු පහරවල් ආදිය ඇයව පීඩාවට පත් කළේය

මේ ගැන හසන් සමඟ කතා කිරීමට ඇය තුළ කැමැත්තක් තිබුණත් ඇය උත්සාහ කළ හැම විටකම ඔහු මාතෘකාව වෙනස් කළේ ය. ඒ, අලි ගේ මරණය ගැන ඔහුට ආරංචි වූ ආකාරය ගැන ඔහු තරහින් පසුවන නිසා විය හැක. සාමාන්‍ය සිරිත වූයේ මෙවැනි ආරංචි එක්වර නොකියා ක්‍රමක්‍රමයෙන් පැවසීමයි. ඇය හසන් වෙත උපායශීලීව ලියවුණු ලිපි පෙළක් එවීම ඇරඹුවේ මේ බැවිනි. මුලදී ඇය කීවේ අලි බරපතල ලෙස රෝගාතුරව සිටින බව නමුත් ඒ වෙද්දී ඔහු මියගොස් වළදමා ද තිබිණි. කෙසේ වෙතත් ඇගේ ලිපියේ වූ කිසිවක් නිසා ඔහු ඇත්ත අනුමාන කර තිබුණි. ඇතැම්විට අලි ගේ රෝගයට පිළියම් ලෙස මුහුදුබඩ ප්‍රදේශයක නිවාඩුවට යෑමේ අදහස ලිපියේ ලියා තිබීම මීට හේතු වුවා විය හැක. නිවසේ සැබවින්ම අසනීප පුතෙක් වී නම් ඇය කිසි දිනක මෙවන් දෙයක් සලකා බලන්නේවත් නැත. හසන් ඇමෙරිකාවේ සිට දුරකතනයෙන් කතා කළ අතර ඒ ඇමතුම ඇය වෙත එළඹෙන්නට රාත්‍රීන් තුනක් ගතවිය. “මොකද වුණේ කියලා මට කියන්න,” ඔහු කීවේය. “මම දන්නවා මොකක් හරි ප්‍රශ්නයක් කියලා.” ඇගේ කඳුළු ඇගේ පිළිතුර වළකද්දී “එයා මැරිලාද?” කියා ඔහු ඇසුවේය. ඔහුගේ කටහඬේ කේන්තියක් ගැබ් වී තිබුණු බවක් දැනුනද එසේ දැනුණේ ඒ දුර්වල දුරකථන සබඳතාවය නිසාද විය හැක. ඇයට කීමට අවශ්‍ය සියලු දේ කීමට පෙර ඔහු දුරකථනය විසන්ධි කළ විට තමන්ට ඔහුට මේ ආරංචිය එක එල්ලේම කියන්නට තිබුණු බව ඇය සිතුවාය. ‘මට ඔහුගේ ඒ ගති ලක්ෂණ අමතක වුණා’ ඇයට සිතුණි. දැන් ඇය අලි ගැන කතාකරද්දී ඔහු ආචාරශීලීව අසා සිටියත් ඔහුගේ මුහුණෙන් දිස් වූයේ පාෂාණීභූත බවකි. ඇය ඒ ගැන සියලු විස්තර- මරණය ගැන, භූමදානය ගැන, යක්දෙස්සියක් වැනි වූ ඔහුගේ බිරිඳ පරක්කු වී මිනී වලට පනින්නට ගත් උත්සාහය ගැන- ආදී සියලු දේ ඔහුට කියන්නට කැමැත්තෙන් සිටි නමුත් හසන් කිසිදිනක ඒ ගැන ඇසුවේ නැත.

ඇය වෙත මරණය එළඹෙමින් තිබුණු බවක් ඇයට දැනුණි. පෞද්ගලිකව ඇය වෙත නොවුණත් (ඇගේ පවුලේ ගැහැනු තම පුරුෂයන්ව වළ දමමින් ශතවර්ෂයක් හෝ ඊටත් වැඩියෙන් ජීවත් වූහ.) මරණය ඇය වටා සිටි අය වෙත- මාමාලා, ඥාති සොයුරන්, මස්සිනාවරුන් ආදීන් වෙත එළඹෙමින් සිටියේය. අවමංගල්‍යයන්ට ඈ අඳින ඇඳුම් කට්ටලය අරන් තියද්දීම නැවත ඒවා පිටතට ගැනීමට වුවමනා වෙයි. මෑතක සිට ඇයට තමන්ගේ ඉතිරි දරුවන් දෙදෙනාටත් වඩා වැඩි කාලයක් තමන් ජීවත් වනු ඇතැයි දැනී තිබිණි. ඇයට පෙනෙන්නට පටන්ගෙන තිබුණු සිහින- බබාක් සීතලෙන් ගල් වී මිනී වලක නිදා සිටින අයුරු, හසන් ඇමෙරිකාවේ අඳුරු පාලු පටු මඟක වැටී සිටින අයුරු- නිසා ඇය නිරතුරුව නින්ද පලවා හරින්නට සටන් කළා ය. රාත්‍රියේ අඳුර මැදින් බියකරු රූප ඇය වෙත ඉගිල එමින් තිබිණි. අන්තිමේදී ඇය තම සාලුව ඔතාගෙන බිම තිබුණු පර්සියානු බුමුතුරුණ මත නිදන්නට ගත්තාය. එහි වූ දුවිලි සුවඳ ඇයට තම නිවස සිහි කළ අතර එය කොහොමත් ඇගේ ඕනෑවට වඩා මෙළෙක විදේශීය ගුදිරියට වඩා සැප පහසු විය.

නත්තල එළඹුණු විට හසන් සහ එලිසබෙත් අර්ඩාවී මහත්මියට කෙටි අත් ඇති තද පැහැති ඇමෙරිකානු ගවුමක් තෑගි දුන්හ. ඉරාන සාදයකට ඇය මේ ගවුම ඇන්ද අතර හදිසියේ ඇතිවූ එඩිතර කමක් නිසා තම හිස වසන සාලුව ද අත හැරියාය. සාදයේ සියලු දෙනාම ඇයගේ පියකරු බව ගැන කතා කළහ. “ඔයා ගානටම මෙහෙට ගැලපෙනවා දැන්” තරුණියක් ඇයට කීවාය. “මම අපේ අම්මාට ලියලා යවන්නද ඔයා ගැන? අම්මා අවුරුදු එකහමාරක් මෙහෙ හිටියා ඒත් එකම එක සැරයක් වත් ඔලුව වහන්නේ නැතිව ගෙදරින් එළියට බැස්සේ නැහැ.” මෙය අසා අර්ඩාවී මහත්මිය සතුටින් සිනාසුණා ය. මෙවැනි අය සමඟ තම රටේදී නම් තමන්ගේ ආශ්‍රයක් නොතිබෙන බව ඇය දැන සිටියාය. මොවුන් රජයේ සේවකයන්ගේ හෝ බැංකු ලිපිකරුවන්ගේ දරුවන් විය. මොවුන් ළඟදී වෛද්‍ය විද්‍යාලයෙන් උපාධි ලබාගෙන අලුතින් පොහොසත් වූ අයයි. මේ බිරින්දෑවරු තම සැමියන්ට කතාකළේ ‘ඩොක්ටර්’ කියමිනි. මේ කෙසේ වෙතත් ඔවුන් සමඟ මෙතරම් පර්සියානු භාෂාව කතා කරන්නට ලැබීම සතුටක් විය. ඇයට දැනුණේ මින් තම දිව උමතු වී ඇති බවකි.

“ඔයාට බබෙක් ලැබෙන්න ඉන්න බව මට පේනවා,” ඈ ඉන් එක් බිරිඳකට කීවාය. “ඔයාගේ පළවෙනියා නේද? මට ඒ බව ඔයාගේ ඇස් දෙකෙන් කියන්න පුළුවන්. බය වෙන්න එපා. මටත් දරුවෝ තුන්දෙනෙක් ලැබුණා, අපේ අම්මාට හත් දෙනෙක් ලැබුණා කිසිම වේදනාවක් නැතිව. අම්මා ඉස්සර තාත්තාගේ උදේ කෑම බෙදන්න බිම ඇන තියද්දී එක පාරට “ආ, අගා ජුන් මෙන්න බබා එනවා!” කියනවා. මෙන්න එයාගේ කකුල් දෙක මැද්දේ බිම බබා ඇවිත් බලාගෙන ඉන්නවා පෙකනිවැල කපලා තේ ටික වක්කරලා ඉවර වෙනකම්!” මෙවැනි දරු ප්‍රසූතියකදී තම මව මියගිය බව ඇය වුවමනාවෙන්ම සඳහන් කළේ නැත. ඇයට තමන්ගේ සුපුරුදු ස්ථානෝචිත ප්‍රඥාව, රසවත්ව කතන්දර කීමේ කුසලතාව, සභාවක අවධානය රඳවා ගැනීමේ හැකියාව ආදිය නැවත ලැබුණු බවක් දැනුණි. ඇය කුඩා දැරියක් සේ දොඩමලුව දිලිසෙමින් සිටියාය. ආපිට නිවසට යාමට වෙලාව එළඹුණු විට ඇගේ මුහුණ දුක්මුසු විය.

ඒ සාදයෙන් පසු දින දෙක තුනක් යන තුරු ඇයට තම භාෂාව අහිමි වීම තවත් බරපතලව දැනුණු අතර හසන් හවසට නිවසට පැමිණි විට මහත් කලබලයෙන් ඔහු සමඟ කතා කරන්නට උත්සුක වූවාය. පිටස්තරයෙක් වීම චංචල දෙයක් බව ඇයට හැඟිණි. මෙහි සීමා මායිම් නිරතුරුව වෙනස් විය. ඇතැම්විට පිටස්තරයා ඇය වූ අතර ඇතැම් විට එලිසබෙත් හෝ හසන් පවා පිටස්තරයෙක් විය. (ඇමෙරිකානුවන් හා ඉරාන ජාතිකයන් අතර, නොඑසේ නම් එස්කිමොවරුන් සහ ඉරාන ජාතිකයන් පවා අතර ඇති දුරට වඩා වැඩි දුරක් ගැහැනුන් සහ පිරිමි අතර තිබෙන බව ඇය නිතර කල්පනා කළා ය.) එලිසබෙත් සමඟ එක්වී හසන් ගේ මෝටර් රථයේ ඉදිරිපස ලාච්චුවේ කුඩා කුරාණයක ආකෘතියක් සඟවන්නට සැලසුම් කරද්දී හසන් පිටස්තරයෙක් විය. ඔහු මේ ගැන දන්නේ නම් ඔවුන්ට සිනාසෙනු නොඅනුමානය.

“මෙහෙමයි,” ඇය එලිසබෙත් ට කීවාය. “මම දන්නවා මේකෙන් කෙරෙන දෙයක් නැහැ කියලා. ඒත් මගේ හිතට සැනසිල්ලක් දැනෙනවා එහෙම කළාම. මගේ පුත්තු තුන්දෙනාම ඉපදුනු වෙලාවේ මම පරණ චාරිත්‍රයට අනුව එයාලාගේ ලේ හැලීමක් කළා. මේකෙන් දීර්ඝායුෂ ලැබෙන බව මිනිස්සු කියනවා. මම දන්නවා මේක මිත්‍යාවක් කියලා, ඒත් පස්සේ කාලෙකත් එයාලගේ පිටේ ඒ කැපුම් ලකුණු දැක්කාම මට ආරක්ෂාකාරී බවක් දැනෙනවා. ඔයාට තෙරෙනේවද මම කියන දේ?”

“ඔව් ඇත්තෙන්ම.” එලිසබෙත් පිළිතුරු දුන්නාය. ඇය විසින්ම කුඩා කුරාණය මෝටර් රථය වෙත ගෙනගොස් එහි ලාච්චුවේ ඇති මාර්ග සිතියම් අතර සඟවන ලද අතර හසන් මේ ගැන දැනගත්තේ නැත.

හිලරි සදාකාලිකවම පිටස්තරයෙක් වූවාය. ඇය නිරතුරුවම තම අත්තම්මාගේ බලාපොරොත්තු සහගත දෑතින් මිදී පලා ගියාය. වැඩිහිටියන් පර්සියානු බස කතා කරද්දී ඈ නොරිස්සුමෙන් දඟකම් කළ අතර නිරතුරුව එලිසබෙත්ගේ ඇඳුමේ අතින් ඇද්දාය. දැරියව වුවමනාවට වඩා සිප නොගන්න, ඇයව වැළඳ ගැනීමට උත්සාහ නොකරන්න, ඇයව තම උකුලට නොගන්න අර්ඩාවී මහත්මියට නිරන්තරයෙන්ම තමන්ට සිහිපත් කරගන්නට සිදුවිය. මේ රටේ මිනිසුන් නිතරම් සිටියේ එකිනෙකාගෙන් වෙන් වෙන්වයි. ඒ දුරස් බව කෙතරම් ද යත් ඇතැම් විට ඉන් ඇගේ සිත රිදිණි. ඔවුන් නිතරම ඉතා ප්‍රවේසමෙන් තම හැඟීම් නොපෙන්වා කටයුතු කළහ. ඇයට කිසිදිනක මේ රට තේරුම්ගැනීමට නොහැකිවනු ඇත.

ජනවාරි මාසයේදී ඔවුහු ඇයව දන්ත වෛද්‍යවරයෙක් ළඟට ගෙන ගියෝහ. ඔහු ඇයගේ මුව පරීක්ෂා කරද්දී කිසිවක් නොකියා අමුතු ශබ්ද නැඟුවා පමණි.

“මෙයා මොකද කියන්නේ?” ඇය ඇසුවාය. “නරක ආරංචියක් නම් මට ඉක්මණින් කියන්න.”

නමුත් එලිසබෙත් සමඟ පහත් හඬින් යමක් කියමින් සිටි හසන් ඇයගේ ඉල්ලීම ගණන් ගත්තේ නැත. ඔවුන් යම් බහින් බස් වීමක නිරත වූ බවක් පෙනුණි.

“හසන්, මෙයා මොකද කියන්නේ?”

“විනාඩියක් ඉන්න.”

ඇය දන්ත වෛද්‍යවරයාගේ උස් පුටුවේ සිට හැරී බැලුවේ ඔහු අත වූ කුඩා කැඩපත ද පසෙකට තල්ලු කරමිනි.

“මට දැනගන්න ඕන,” ඇය හසන්ට කීවාය.

“දොස්තර කියනවා ඔයාගේ දත් හොඳටම නරක් වෙලා ලු. ඒවා ඔක්කොම උගුල්ලලා විදුරුමසට ශල්‍යකර්මයක් කරලා සුමට කරන්න ඕනලු. තව මාස කීපයක් මෙහේ ඉන්නවද අහනවා ආයෙත් එන්න දෙන්න අද හෙට දිනයක් නැති නිසා.”

භීතියේ සීතල ගුලියක් තම උදරය මැද නවතිනු ඇයට දැනුණි. ඇය පැමිණ තවමත් ගතවී තිබුණේ තෙමසක් බැවින් සහ ඇය වසරක් රැඳෙන්නට බලාපොරොත්තු වන බැවින් සැබවින්ම ඇය තව කාලයක් මෙහි සිටිනු ඇත. එබැවින් තම ජීවිතය දන්ත වෛද්‍යවරයාට භාර දී අත්සන් කරද්දී හිරිවැටුණු සිතින් බලා සිටීම හැර ඇයට වෙන කළ හැකි කිසිවක් නොවීය. ඇයට එහි නැවත නැවතත් පැමිණෙන්නට ඉදිරි දින ගණනාවක් සැලසුම් කෙරුණු අතර සුදු පැහැති කුඩා කාඩ් පත් රැසක ඒ දින සටහන් කෙරුණි. මේ ගැන හසන්ගෙන් කිසිදු අනුකම්පාවක් දිස් වූයේ වත් නැත. ඔහු ඒ වෙද්දීත් එලිසබෙත් සමඟ බහින්බස් වෙමින් සිටියේය. තමන්ගේ දෑත ගැහෙමින් තිබුණු බව ඔවුන් දෙදෙනාම දුටුවේ නැත.


~~~~~~~~~~~~~~~~

ජනවාරි මාසය පුරාවටම තද හිම පතනයක් සිදුවිය. මෙය වසර ගණනාවකින් ඔවුන් ලද බරපතලම හිම පතනය විය. උදෑසනදී ඈ පහත මාලයට එන විට මුළුතැන්ගෙහි අයිස් බඳු සීතලක් තිබිණි. “මේ සීතල නිකම් ඇට මිදුළු වලටත් ඇතුල්වෙන ජාතියේ එකක්,” ඇය එලිසබෙත් ට කීවාය. “මට හිතෙනවා මම අනිවාර්යයෙන් ලෙඩ වෙයි කියලා.” එලිසබෙත් මීට හිස සැලුවා පමණි. දැන් දැන් ඇතැම් උදෑසනවල ඇගේ මුහුණ සුදුමැලිව ඉදිමී තිබුණේ ඇයට යම් රහස් සිත් තැවුලක් ඇති පරිද්දෙනි. නමුත් ඒ ගැන නොවිමසා සිටින්නට අර්ඩාවී මහත්මිය උගෙන සිටියාය.

පෙබරවාරි මාසයේ මුලදී හදිසියේම උණුසුම් දින කිහිපයක්ම උදා විය. හිම දියවී ගිය අතර ගස්වලින් හිරුරැස් බේරෙන්නට විය. “අපි ඇවිදින්න යනවා,” එලිසබෙත් කී විට “මාත් එනවා”යැයි අර්ඩාවී මහත්මිය පිළිතුරු දුන්නාය. දවස උණුසුම් වූවත් ඇය අපහසුවෙන් ඉහල මාලයට ගොස් තම වූල් සාලුව ගත්තේ අනවශ්‍ය අවදානම් ගැනීමට ඇයගේ කැමැත්තක් නොතිබුණු බැවිනි. හිලරිගේ දෙකන නොවැසී තිබීම ගැන ඇය තැවුණාය. “මෙයාට හෙම්බිරිස්සාවක් හැදෙන්නේ නැද්ද මෙහෙම යද්දී, මම නම් හිතන්නේ එයාගේ ඔලුව වහන්න ඕන කියලා.” ඇය කීවාය.

“නෑ එයාට ගාණක් නැහැ” කී එලිසබෙත් මුරණ්ඩු ස්වභාවයෙන් මුහුණ හකුලා ගත්තාය.

උද්‍යානයේදී එලිසබෙත් සහ හිලරි නොදියවී ඉතිරිව තිබුණු හිමවලින් බෝල තනා එකිනෙකාට ගසන්නට විය. එසේ කරද්දී පසෙක දෑත බැඳ මෙය නරඹමින් සිටි අර්ඩාවී මහත්මියගේ සිරුරේ ඒවා නොවැදී බේරුණේ අනූ නවයෙනි.

පසුදා උදෑසන හිලරි අසනීප වී සිටියාය. උදෑසන ආහාර ගැනීමට මේසයට වාඩි කරනු ලදුව ඇය එක සීරුවට හඬන්නට වූ අතර කෑම ද ප්‍රතික්ෂේප කළා ය. “අනේ අනේ,” ඇගේ අත්තම්මා කීවාය. “මොකද අඬන්නේ කියලා ඔයාගේ වයසක කා ජුන් ට කියන්න බැරිද?”

එහෙත් ඈ කිට්ටු වෙද්දී හිලරි තවත් හයියෙන් කෑ ගසන්නට විය. එලිසබෙත් හසන් ට දුරකතනයෙන් ඇමතූ අතර ඔහු වහාම නිවසට පැමිණ ඇගේ නළලත අතක් තබා වහාම ඇයව ළමාරෝග පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයා වෙත රැගෙන යා යුතු යැයි පැවසීය. එහි යද්දී රථය පැදවූයේ ඔහුයි.

“ප්‍රශ්නේ තියෙන්නේ එයාගේ කන් දෙකේ,” ඔවුන්ගේ වාරය එනතුරු අසුන්ගෙන බලා සිටිද්දී අර්ඩාවී මහත්මිය කීවාය. කුමක් හෝ හේතුවකට මෙය අසා හසන් කිපුණේ ය.

“ඔයා හැම තිස්සෙම විශේෂඥයන්ට වඩා වැඩියෙන් දන්නවද?” ඔහු ඇයගෙන් ඇසුවේය. “අපි මොකටද එහෙනම් මේ දොස්තරලා ළඟට එන්නේ? ගෙදර ඉඳන් ඔයාගෙන්ම අහගන්න තිබුණා නේ.”


ඔහුගේ මව මුහුණ පහත් කර තම අත් බෑගයේ පටි දෙස බලාගත්වනම පසු වූවාය. දියණියගේ අසනීපය ගැන ඔහු බිය වී සිටින බව ඇයට තේරුණත් ඔහුගේ වදනින් සිත රිදුණු නිසා ඔවුන් වෛද්‍යවරයා වෙත යද්දී ඇය හිඳගත්වනම සිටියාය.

ටික වෙලාවකට පසුව හසන් නැවත පැමිණ අසුන් ගත්තේය. “එයාගේ මැද කණ ආසාදනය වෙලා.” ඔහු ඇයට කීවේය. “දොස්තර එයාට පෙනිසිලින් ඉන්ජෙක්ෂන් එකක් දෙන්න හදන්නේ.”

ඔහුගේ අම්මා හිස සැලුවේ, ඔහු කේන්ති ගැනීමට ඉඩ ඇති බැවින් තමන් මෙයම කළින් කී බව නැවත මතක් නොකිරීමට ප්‍රවේසම් වෙමිනි. ටික වෙලාවකින් හිලරිගේ හැඬුම් හඬ ඇසිණි. ඒ ඇය එන්නත ලබාගන්නා මොහොත බව අර්ඩාවී මහත්මිය අනුමාන කළා ය. තමන් ද එන්නත් කටු වලට මහත් බියක් දක්වන බැවින් ඇය තම ඇඟිලි සුදුමැලි වන තරමට තදින් තම අත් බෑගයේ පටිය අල්ලා ගත්තාය. වෛද්‍ය සායනයේ පිළිගැනීමේ ශාලාවේ වටපිට බැලූ ඇයට හැඟුණේ එහි වූ පැරණි ලී සෙල්ලම් බඩු සහ පාට පාට රූප සතුට ඉපදවීමට ශෝකජනක උත්සාහයක යෙදෙන බවයි. හිලරි ගැන අනුකම්පාවෙන් ඇගේ කණත් රිදෙන්නට විය. දඬුවමක් ලෙස අලි ගේ දෙකන මිරිකූ අවස්ථාවක් ඇයට සිහිවිය. ඔහු එදා දවසම හඬා තම මහපට ඇඟිල්ල උරමින් නින්දට වැටුණේය.

හසන් අසල ඇති විට කිසිවක් නොකියන්න ඇය ප්‍රවේසම් වූ නමුත් ඊට පසු දින උදෑසන ආහාරය ගනිද්දී මෙසේ කීවාය.

“එලිසබෙත් දුවේ, ඔයාට මතකද පෙරේදා අපි ඇවිදින්න ගිය හැටි?”

“ඔව්” එලිසබෙත් පිළිතුරු දුන්නාය. මේ වෙද්දී නැවතත් යථා තත්ත්වයට පත්ව හොඳින් උදෑසන ආහාරය ගනිමින් සිටි හිලරි වෙනුවෙන් ඇය දොඩම් මිරිකමින් සිටියාය.

“ඔයාට මතකද මම කීවා හිලරිට තොප්පියක් දාලා අරන් යන්න කියලා? ඔයා මීට වඩා ප්‍රවේසම් වෙන්න ඕන. ඔයා නිසා දරුවා ලෙඩ වුණා, එයා මැරෙන්න පවා ඉඩ තිබුණා. ඔයාට දැන් ඒ බව තේරෙනවද?”

“නැහැ,” එලිසබෙත් කීවාය.

ඇයට ඒ තරමටම පර්සියානු භාෂාව නොතේරෙනවා විය හැකිද? මෑතක සිට ඇගේ ඒ හැකියාව එන්න එන්නම ක්ෂුද්‍ර වී දරදඬු වී ගොස් තිබුණේ වියළි පාන් කැබැල්ලක් මෙනි. අර්ඩාවී මහත්මිය සුසුමක් හෙලා නැවත උත්සාහ කළාය.

“මේකයි මම කියන්නේ, තොප්පියක් නොදා ගියාම-” නමුත් එලිසබෙත් තම අත වූ දොඩම් ගෙඩිය පසෙකින් තබා හිලරිව ඔසවාගෙන කාමරයෙන් පිටතට ගියාය. අර්ඩාවී මහත්මිය ඇය යන දෙස බලා සිටියේ තමා අතින් වැරදි දෙයක් කියැවුණි දැයි සිතමිනි.

ඒ දවසේ ඉතිරි කොටස එලිසබෙත් තම කාමරයේ ගත කළේ මහත් කාර්යබහුල ලෙසිනි. ඇය එහි අල්මාරි සහ ලාච්චු අස් කරමින් සිටියාය. වරක් දෙවරක් අර්ඩාවී මහත්මිය කාමරයේ දොරකඩ දක්වා ගොස් නුහුරු ලෙස බලා සිටියාය. ඉවත දැමූ සුවඳ විලවුන් බෝතලයක් සමඟ සෙල්ලම් කරමින් හිලරි බිම හිඳ සිටිනු පෙනුණි. බොත්තම් ගැලවුණු හැට්ට, ඇදී ගිය ස්වෙටර්, මේස් සහ පනා, හිස් තොල් ආලේපන කූරු ආදී බොහෝ දේ ඉවතලන්නට සැරසෙන බවක් දිස් විය. “මගෙන් උදව්වක් ඕනද?” අර්ඩාවී මහත්මිය ඇසුවත් “අනේ නැහැ, බොහොම ස්තූතියි,” යැයි එලිසබෙත් පිළිතුරු දුන්නාය. අගේ කටහඬේ තිබුණේ උද්‍යෝගිමත් බවකි. එහෙත් හසන් ගෙදර ආ විට ඔහු ද ඉහළ මාලයට ගිය අතර එහි දොර වසාගෙන බොහෝ වෙලාවක් රැඳුනි.

එදින රාත්‍රී ආහාරයට හසන් කුඩා කල සිට ඉතාමත් ප්‍රිය කළ ඉස්ටුවක් සකසා තිබුණද ඔහු ඒ ගැන වචනයක් වත් කීවේ නැත. ඔහු හරියකට කතා කළේ වත් නැත. ඊට පසු, එලිසබෙත් හිලරිව නින්දට දමද්දී ඔහු ‘ඛානොම් ජුන්, මට ඔයාත් එක්ක කතා කරන්න ඕන,” කියා කීවේය.

“ඔව්, හසන්,” ඈ තම ගෙතුම පසෙක තබමින් ඇසුවාය. ඔහුගේ බැරෑරුම් මුහුණ, ඔහුගේ කළු පැහැති උඩු රැවුලේ බර, ඔහුගේ පියාගෙන් උරුම වූ ගැඹුරු කළු වන් දෑස ඇයව බියපත් කළේය. එහෙත් ඇය කර තිබුණු වරද කුමක්ද? ඇය දෑත් පටලමින්, අපහසුවෙන් කෙල ගිලිමින් ඔහු දෙස දෑස් ඔසවා බැලුවාය.

“ඔයා එලිසබෙත්ගේ වැඩවලට ඇඟිලි ගහනවා කියලා මට ආරංචියි.”

“මේ මම, හසන්?”

“එලිසබෙත් කියන්නේ එහෙම ඇඟිලි ගහන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. එයා යසට අර ළමයාව බලාගන්නවානේ.”

“ඉතින් ඒක එහෙම තමයි,” ඔහුගේ මව කීවාය. “කවද්ද මම එහෙම නැහැ කියලා කිව්වේ?”

“එහෙනම් ඒ බව පෙන්නන්න. විවේචනය කරන්න එපා.”

“බොහොම හොඳයි,” ඈ කීවාය. ඉන්පසු ඈ තම ගෙත්තම අතට ගෙන මැහුම් ගණන් කරන්නට වූයේ මෙවැනි කතාබහක් සිදු නොවූ ලෙසිනි. නමුත් ඒ රාත්‍රියේදී ඈ අසාමාන්‍ය ලෙසින් නිහඬව සිටි අතර රෑ නවය වෙද්දී නින්දට යාම සඳහා සමුගත්තාය.

“දැන්මම?” හසන් විමසීය.

“මට මහන්සියි,” පිළිතුරු දුන් ඇය පිටව ගියේ සිය පිටකොන්ද ඍජු ලෙස තබාගෙනයි.

ඇයට තමන්ගේ කාමරය ඇයව වටකරගන්නා සුවපහසු කූඩුවක් ලෙසින් දැනුණි. මෙහි හැම ඉඩකම ඇය තමන්ගේ බව කියවෙන දේවල් තට්ටු වශයෙන් ගොඩ ගසා තිබුණි. මෙහි ගෙත්තම් කළ තිර රෙදි, රේන්ද රෙදි කැබලි සහ තවත් විසිතුරු රෙදි වර්ග විය. ලාච්චු සහිත මේසය දිලිසෙන රාමු සහිත දෙවිවරුන්ගේ රූප වලින් සහ ඇගේ සොයුරියන් පවුලේ උත්සව ආදියේදී ගත් ඡායාරූප ආදියෙන් පිරී තිබිණි. ජනෙල් පඩිය මත ඇගේ ප්‍රියතම ඇමෙරිකානු පාටවල් වූ තැඹිලි පාට සහ මුහුදු නිල් පාටින් යුත් ප්ලාස්ටික් බඳුන් වල සිටවූ කුඩා පැල දක්නට විය. ඇගේ ඇඳ අසල මේස මත බෙහෙත්ද ඇත්දළින් නිමවූ යාඥා පබළු වැලක් ද, ශුද්ධ වූ භුමියේ පස් වලින් සැකසූ කුඩා ගඩොල් කැටයක් ද තිබිණි. මේ නිවසේ ඉතිරි කාමර හිස් ව, දිලිසෙමින්, කිසිවෙකුටවත් අයිති නැති ලෙසින් තිබුණද ඇගේ කාමරය නම් ඇගේ හිතට සැනසිල්ලක් ගෙන දුන්නේය තම ප්‍රියතම සාලුව විලසිනි.

කෙසේ වුවත් ඇයට සුව නින්දක් ලැබුණේ නැත. විවිධ අවතාර නැවත මතුවී ඇගේ සිතුවිලි වලින් අදින්නට විය. ජීවිතයේ ඇය වෙනුවෙන් සිදුවන හැම දෙයක්ම නරක අතට හැරුණේ ඇයි? ඇගේ පියා ඇයට වඩා ඇගේ සොයුරන්ව ප්‍රිය කළ බව මෙතරම් වසර ගණනක් ගෙවුණු පසුත් ඇයට ගෙන ආවේ සිත තුවාල කරවන තරමේ දුකකි. දරුවන් තිදෙනෙක් ලැබුණු පසුවත් ඇය දුරස් හැසිරීමෙන් යුතු බව කියමින් ඇගේ සැමියා පැමිණිලි කළේය. දරුවන්ගෙන් වුව කිසිදු සහනයක් තිබුණිද? ඉරානයේ තව කාලයක් රැඳුනා නම් ඇයට තම නිවසින් යන ලෙස බබාක් කියනු ඇත. ඇයට මෙවැනි දේක අනාවැකි දැනී තිබුණි. අලුත් මනාලියගේ වැඩි ගරුසරු නැති හැසිරීම්, අවවාද පිළිපැදීමට ඇති අකැමැත්ත ආදී දේ තම මව විසින් පෙන්වා දුන්නද බබාක් ඒවා නොසලකා හැරියා ය. හසන් මීටත් වඩා කරදරකාරී විය. ඔහු මුලසිටම මුරණ්ඩු ගති ඇති ස්වාධීන අයෙක් විය. ඔහු ඉරානයේ නවතින්නේ නම් ඕනෑම දෙයක් දෙන්නට තමන් සූදානම් බව කියද්දීත් ඔහු ඇය දමා යන්නට දැඩි ලෙස තීරණය කර තිබිණි. ඔහුට ඇමෙරිකාවේදී කෙතරම් තනිකමක් දැනෙනු ඇත්දැයි හැම කෙනෙක්ම පෙන්වා දුන්නත් ඔහු තමන්ගේ නෑනා වන ශෝරා ව කසාද බැඳ ඔහු හා රැගෙන එන්නට එක හෙලාම ප්‍රතික්ෂේප කළේ ය. එතැනින් නික්මීමට, ගැලවී ඒමට, මේ සිත් පිත් නැති රටකට ඒමට, ක්‍රිස්තියානි කෙල්ලෙක් කසාද බැඳීමට ඔහුට ඉස්පාසුවක් නොතිබුණි. ඇයට තිබුණේ ඔහු නික්ම එද්දී ඇති තරම් සිනාසී ඔහු වෙනුවෙන් හෙලූ කඳුළු වෙනත් ගැලපෙන කෙනෙක් වෙනුවෙන් ප්‍රවේසම් කර ගැනීමටය. ඇයට තිබුණේ මෙහි නොපැමිණ සිටින්නයි. ඔහුගෙන් නැවත කිසි දිනක කිසිවක් නොඉල්ලා සිටින්නයි. අන්තිමේදී ඇය නින්දට වැටුණත් ඇයට දැනුණේ ඇගේ දෑස විවරව ඇති බවත් ඒවා ඇසි පියන් යට විශාලව, දැවෙමින් ඇති බවත් ය.

පසුදා උදෑසන අයට දත් කැක්කුමක් සැදී තිබිණි. ඒ වේදනාව නිසා ඇයට අවිදගන්නට පවා නොහැකි විය. මෙය සිකුරාදාවක් වූ අතර ඇය වෙනුවෙන් වෙන් කළ පළමු දන්ත වෛද්‍ය සැසිය යෙදී තිබුණේ එළඹෙන සඳුදාට ය. නමුත් ඇය වෙනුවෙන් ඒ හවස් වරුවේ ඉඩකඩක් වෙන් කිරීමට දන්ත වෛද්‍යවරයා සමත් වූ අතර එහි ගිය විට ඔහු ඒ දත ගලවා දැමුවේය. ඇයට වේදනාවක් නොදැනෙනු ඇතැයි එලිසබෙත් කීවත් ඇයට මහත් වේදනාවක් දැනුණි. මේ සිදුවීම එලිසබෙත් සැලකුවේ තම දින චර්යාවේ නොවැදගත් සිදුවීමක්, දරුවා බලාගන්නට කුලියට කිසිවෙක් ගන්නට සිදුවූ අවස්ථාවක් ලෙස පමණි. ඇය හසන්ට ගෙදර එන්නට දුරකථන ඇමතුමක් දීම පවා ප්‍රතික්ෂේප කළා ය. “එයා මොනවා කරන්නද?” ඈ ඇසුවාය.

එබැවින් ඒ හවස් වරුවේ හසන් නිවසට පැමිණි විට මේ සිදුවීම- එනම් තම මව දිගු දතක් වැනි ලේ වැකි පුළුන් කැබැල්ලක් කටේ රුවාගෙන සිටීම- ඔහුට පුදුමයක් විය. “ඔයාට මොකද වුණේ?” ඔහු ඇසුවේය. එදින හවස් වරුවේම හිලරි සිටියේ යටි උගුරෙන් කෑ ගසමින් වීම මේ මොහොතේදී සහනයක් වූයේ නැත. අර්ඩාවී මහත්මිය දෑතින්ම දෙකන් වසා ගත්තේ කෙඳිරියක් නගමිනි.

“ඔය දරුවාව ටිකකට නිශ්ශබ්ද කරගන්නකො.” හසන් එලිසබෙත් ට කීවේය. “ මම හිතන්නේ අපි අම්මාව ඇඳට අරගෙන ගියොත් හොඳයි.”

ඔහු ඇයව වත්තන් කරගෙන පඩිපෙළ දක්වා රැගෙන යද්දී ඇය මඳක් ඔහුගේ සිරුරට හේත්තු වීමට තමන්ට ඉඩ දුන්නාය.

“වැඩියත්ම ප්‍රශ්නේ තියෙන්නේ මගේ හර්දය වස්තුවේ,” ඈ කීවාය. “ඔයා දන්නවනේ මම දත් දොස්තරලාට කොයිතරම් බයයිද කියලා.”

ඔහු ඇගේ පොරෝනය ඉවත් කර ඇඳේ වැතිරීමට ඇයට උදවු කළ විට ඇය බෙහෙවින් කෘතඥව දෑස් වසාගත්තේ එක් අතක් නළල හරහා රඳවා ගනිමිනි. ඇයට උණුසුම් තේ කෝප්පයකින් දැනෙන සහනය පවා අහිමිව තිබුණේ පැය දොළහක් ගතවන තුරු සීතල ආහාර පමණක් ගැනීමට අණ ලැබී තිබුණු බැවිනි. හසන් ඇයට අයිස් වතුර වීදුරුවක් ගෙන ආවේය. ඔහු ඉතාමත් කාරුණික බව ඇයට සිතිණි. ඇයව දැකීමෙන් හිලරි කැළඹුණු ලෙසින්ම ඔහුද කැළඹී ඇති බවක් පෙනුණි. හවස් වරුව පුරාම ඔහු වරින් වර ඇයගේ සැප දුක් බලන්නට පැමිණි අතර රාත්‍රියේද ඇයගේ දොර අසල ඇහුම්කන් දීමට ඔහු පැමිණෙනු ඇයට ඇසුණි. ඇය කෙඳිරි ගෑ විට, “ඔයා ඇහැරිලා ද?” යැයි ඔහු හඬගා ඇසුවේය.

“නැත්නම්?” ඇය කීවාය.

“මොනවාහරි ගෙනත් දෙන්නද?”

“එපා, එපා.”

පසුදා උදෑසන ඈ තරප්පු පෙළ බැස්සේ ඉතා සෙමින්, අත් වැට තදින් අල්ලාගෙන ය. “ඊයේ රෑ හරි අමාරු රැයක් වුණා,” ඈ කීවාය. “පාන්දර හතරට මගේ විදුරුමහ ඇදුම්කන්න ගත්තා. ඒක සාමාන්‍ය දෙයක්ද? වේදනාවට බොන මේ ඇමෙරිකන් පෙති වලට මගේ බඩ වේලනවා. ප්රුන් යුෂ ටිකක් බිව්වා නම් මට පුරුදු පිළිවෙලට වැසිකිලි යන්න පුළුවන් වේවි.”

“ඉන්න මම දෙන්න,” හසන් කීවේය. “ඔයා වාඩි වෙන්නකෝ. මම දුන්න මිලක් ඔෆ් මැග්නීසියා එක බිව්වද?”

“ආ ඔව්, ඒත් ඒක සැර මදි වගේ.”

එලිසබෙත් හසන් ට බේකන් පිඟානක් දුන්නේ ඔහු දෙස නොබලාම ය.

උදෑසන ආහාරයෙන් පසු හසන් සහ ඔහුගේ මව මේසයේ හිඳ තේ බොමින් සිටිද්දී එලිසබෙත් මුළුතැන්ගෙය පිරිසිදු කරන්නට ගත්තේ මහත් ශබ්දයක් නඟමිනි. හැඳි ආදිය අස් කරමින් සිටි ඇය ඇද වූ, මළ කෑ ඒවා ඉවත ලෑවා ය. “මම උදවු කරන්නද?” අර්ඩාවී මහත්මිය ඇසුවාය. එලිසබෙත් හිස සැලුවා පමණි. ඈ මෑතක සිට හදිසි උනන්දුවකින් මෙලෙස විවිධ දේ ඉවතලන බවක් පෙනුණි. ඉන්පසු ඈ කුස්සියේ කවුන්ටරය මතට නැඟ ඉහළින් වූ රාක්කවල තිබුණු සියලු දේ- විස්කෝතු, සීරියල් පෙට්ටි, අඩක් හිස් කුළුබඩු බෝතල් ආදිය- හිස් කරන්නට වූවාය. උඩම රාක්කයේ මල් මෝස්තරයක් සහ පර්සියානු අකුරු සහිත රසකැවිලි අඩංගුවන වර්ගයේ ටින් බඳුනක් දිස් විය. අර්ඩාවී මහත්මිය මෙහි පැමිණි දා සිට මෙතැන තිබුණු එය හැමටම අමතක ව ගොස් තිබිණි.

“අනේ!” අර්ඩාවී මහත්මිය කීවාය. “මේක දැකලා නම් හිලරි බොහොම පුදුම වේවි!”

එලිසබෙත් ආයාසයෙන් එහි පියන ඇරියා ය. වළාකුලක් සේ ඉන් පිටවූයේ අමුතු කෘමින් රැසකි. අළු- දුඹුරු පැහැති වූ මේ මැස්සන් වර්ගයට V හැඩයේ පියාපත් තිබුණි. එලිසබෙත් ගේ මුහුණේ හැපී ගිය උන් ඇගේ හිසකෙස් අතරින් පියඹා ගොස් සිවිලිම වෙත ළඟා වී එහි විදුලි බුබුල වටා රොක්වූ බැවින් කුස්සියම අඳුරු විය. එලිසබෙත් ඒ ටින් බඳුන හැකි වෙර යොදා තමන්ගෙන් ඈතට විසි කර කවුන්ටරයෙන් බිමට බැස්සාය.

“දෙවියනේ!” අර්ඩාවී මහත්මිය කීවාය. “මුන් අපේ එහෙ ගෙදරත් ඉන්නවනේ!”

හසන් තම තේ කෝප්පය පහත් කර බැලුවේය. ටින් බඳුනේ තිබුණු කජු සහ වියළි මිදි හාත්පස විසිරී තිබුණු අතර තව තවත් කෘමීහු සිවිලිම වෙත පියාඹමින් සිටියහ. එලිසබෙත් ළඟම තිබුණු පුටුවේ වාඩිවී තම හිස දෑතේ රුවාගත්තාය. “එලිසබෙත්?” හසන් කීවේය.

නමුත් ඇය ඔහු දෙස නොබලා සිටියාය. අන්තිමේදී ඇය හෙමින් සීරුවේ නැගිට ඉහළ මාලයට ගොස් ඉතා කුඩා, ස්ථිර ශබ්දයක් නැඟෙන ලෙස නිදන කාමරයේ දොර වැසුවාය. මෙය පහත මාලයේ මුළුතැන්ගෙහි සිටි දෙදෙනාට පැහැදිලිව ඇසුණේ ඔවුන් ඉතා උනන්දුවෙන් සවන් දෙමින් සිටි බැවිනි.

“මම මේසෙන් නැගිටිනවා,” හසන් සිය මවට කීවේය.

හිස සැලූ ඇය තම තේ කෝප්පය දෙස බලාගත්වනම පසුවිය.

ඔහු නැගිට ගිය පසු ඈ හිලරි සොයාගෙන ගොස් දැරියව තම උකුලේ තබාගෙන ඇයට විවිධ ජනකවි ගයන්නට වූයේ ඉහළ මාලයේ නිහඬ බව වෙත ඉතා වුවමනාවෙන් ඇහුම්කන් දෙමිනි. නමුත් හිලරි දඟලා ඇගේ උකුලෙන් බැස ගොස් තම ට්‍රක් රථය හා සෙල්ලම් කරන්නට වූවා ය. ඉනික්බිති හසන් පහල මාලයට ආ නමුත් ඔහු එලිසබෙත් ගැන වදනක් වත් කීවේ නැත.

ඊට පසු දිනයේදී අර්ඩාවී මහත්මියගේ දතේ වේදනාව සමනය වූ පසු හසන් ඇය සමඟ ඇගේ කාමරයේදී කුඩා කතාබහක යෙදුණේය. ඔවුහු එකිනෙකා වෙත බෙහෙවින් ආචාරශීලී වූහ. තමන් තව කෙතරම් කාලයක් ඇමෙරිකාවේ රැඳෙන්නට බලාපොරොත්තු වන්නේදැයි හසන් තම මවගෙන් ඇසුවේය. තමන් ඒ ගැන හරියටම කල්පනා නොකළ බව ඇය පිළිතුරු දුන්නාය. ඇමෙරිකාවේ සාමාන්‍ය ක්‍රමය නම් අමුත්තන් මාස තුනක් පමණක් නිවසක රැඳීම බව හසන් කීවේය. ඉන්පසු ඔවුන් කිට්ටුවක ඇති තට්ටු ගොඩනැගිල්ලක ඇති නිවසකට පදිංචියට යාම සාමාන්‍ය සිරිත බව ඔහු කීවේය. මෙවැන්නක් ඇයටද ලබාදීමට ඔහු සූදානම් බවත්, සතියක් තරම් කාලයක් යද්දී එවැනි නිවසක් සොයාගත හැකි බවත් ඔහු කීය.

“තට්ටු ගොඩනැගිල්ලක ගෙයක්,” ඔහුගේ මව ගෞරවය මිශ්‍ර පුදුමයෙන් කීවාය. නමුත් ඇය තමන්ගේ ජීවිතයේ කිසි දිනක තනිව ජීවත්ව තිබුණේ නැති අතර සුදුසු තරමේ නිහැඬියාවකට පසු ඔහුට එවැනි වියදමකට හේතු වන්නට තමන් ඉතාමත් අකමැති බව ඈ කීවාය.

“අනික මම කොහොමත් තව ටික දවසකින් යනවනේ, මගේ නංගිලා නැතිව මට පාලුයි.”

“හරි එහෙනම්,” හසන් කීවේය.

තම මවට සිය සොයුරියන් නොමැතිව පාලු බවත්, එබැවින් ඇයට ආපිට යන්නට වුවමනා බවත් එදින රාත්‍රී ආහාර වේලාවේදී හසන් නිවේදනය කළේය. එය අසා එලිසබෙත් බොමින් සිටි වීදුරුව පහත හෙලුවාය. “යන්න?”

“අනික බබාක් ගේ නොනාත් මාව හොයයි දැන් බබා ලැබෙන්න කිට්ටු වෙද්දී,” අර්ඩාවී මහත්මිය කීවාය.

“ඒත් අර දත් දොස්තර ළඟ වෙලාව වෙන්කළ ඒවාට මොකද කරන්නේ? ලබන සඳුදානේ පළවෙනි දවස.”

“ඒක වැදගත් නැහැ.” අර්ඩාවී මහත්මිය කීවාය.

“ඒත් අපි ඒ ඔක්කොම ලෑස්ති--”

“එහෙදි උනත් දත් දොස්තර කෙනෙක් හම්බවෙන්න පුළුවන් නේ,” හසන් එලිසබෙත් ට කීවේය. “දෙවියන්ගේ නාමෙට, ඉරානයේත් ඕන තරම් දත් දොස්තරලා ඉන්නවා! ඔයා හිතන්නේ අපි ම්ලේච්ඡයෝ කියලද?”

“නැහැ” එලිසබෙත් කීවාය.


~~~~~~~~~~


මාර්තු තුන්වෙනි දා හවස් වරුවේ හසන් තම මවව ගුවන් තොටුපළ වෙත රැගෙන ගියේය. හිම පතනයක් නිසා ලිස්සනසුළුව තිබුණු මාර්ගයේ ඔහු රථය පැදවූයේ කරදර සිතිනි. ඔහුට තම මවට කියන්නට වැඩි දෙයක් සිතාගත නොහැකි විය. ඔවුන් ගුවන් තොටුපළ වෙත ළඟා වූ විටද ඔහු වුවමනාවෙන්ම සිල්ලර දේ- ප්‍රවේශපත් පරීක්ෂා කරගැනීම, පිටත් වන වෙලාව තහවුරු කරගැනීම, ගමන් මලු කිරා ගැනීම ආදී දේ ගැන කතා කරමින් පසු වුණේය. ඇගේ ගමන් මලු නියමිත බරට වඩා රාත්තල් දාහතරක් බර වැඩි බව සටහන් විය. මීට හේතුවක් ඇයට සිතාගනු නොහැකි වූයේ එහි තිබුණේ ඇගේ ඇඳුම් සහ තම සොයුරියන් වෙනුවෙන් මිළදීගත් කුඩා ත්‍යාග කිහිපයක් පමණක් බැවිනි.

“මේක මොකද මේතරම් බර?” හසන් ඇසුවේය. “මොනවද මේකේ තියෙන්නේ?”

නමුත් ඔහුගේ මව “මම දන්නේ නැහැ,” කියා තම සාලුව සකසාගෙන ඉවත බලාගත්තා පමණි. හසන් නැඹුරු වී ඇගේ ගමන් මල්ල විවර කළේය. ඒ තුළ අමුතු හැඩයේ හිස් වයින් බෝතල් තුනක්, ඇගේ ඇඳේ තිබුණු ඇඳ ඇතිරිලි කට්ටලය සහ ඊට පෙර දිනයේ තැපෑලෙන් ආ සේදුම් කුඩු සාම්පලයක් විය.

“මේ අහන්න,” හසන් කීවේය. “ඔයා දන්නවද මේවා වෙනුවෙන් මම කොයිතරම් ලොකු මුදලක් ගෙවන්න ඕනද කියලා? මොකද ඔයාට වෙලා තියෙන්නේ?”

“මට ඕන වුණේ ඒවා මගේ නංගිලාට පෙන්නන්න.”

“ඒක අමතක කරලා දාන්න වෙනවා. තව මොනවාද තියෙන්නේ?”

නමුත් ඇයගෙන් දිස් වූ පෙනුම- කුඩා දැරියක් මෙන් හිස් බැල්මෙන් ඈත බලා සිටි ආකාරය නිසා ඔහු ඒ අදහස අත්හැර දැමුවේය. ඔහු තවත් ගමන් මලු විවර නොකළ අතර කලින් ඇයට තදින් කතා කිරීම ගැනද පසු තැවිලි වූවේය. ඇගේ ගුවන් යානයේ මගීන් වෙනුවෙන් නිවේදනයක් නිකුත් වූ විට ඔහු ඇයව තදින් වැළඳගෙන ඇගේ හිස් මුදුන සිම්බේය.

“දෙවියන්ගේ ආරක්ෂාව ඇතිව යන්න”

“මම යන්නම් හසන්”

කොරිඩෝව ඔස්සේ එක පෙළට යමින් සිටි ව්‍යපාරිකයන් රැසක් පසුපසින් ඇය තනියම ගමන් කරන්නට විය. ඔවුන් හැමදෙනාම තොප්පි පැළඳ සිටි අතර ඇය තම සාලුවෙන් හිස වසා සිටියාය. මේ මගීන් හැම කෙනෙක්ම අතරින් සාළුවකින් හිස වසා, තම කුඩා සපත්තු සහිත දෙපා දිලිසෙන පිඟන් ගඩොල් බිම මත තබමින් ඇවිදිමින් සිටි ඇය නම් පිටස්තරයෙක් බව කිසිදු සැකයකින් තොරව දිස් විය.



Nissanka Rajapaksa

unread,
Nov 12, 2023, 7:11:31 PM11/12/23
to INDRAKA group
11

ෆ්ලෝරි හැමිල්ටන් නොහොත් වාසනාවන්ත අත්වැරැද්ද


ලුසි මෝඩ් මොන්ටිගොමරිගේ කෙටි කතාවකි
~පරිවර්තනය රන්දිකා රණවීර ප්‍රනාන්දු
   “අනේ අම්මේ! ඉන්න බැහැ. කොහොම ඉවසන්නද මේ අමාරුව!” සිය කාමරයෙහි වූ සෝෆාවට වී අමාරුවෙන් ඇඹරෙමින් පෙරළෙමින් සිටි නැන් වොලස් නොරිස්සුමින් හඬ නැගුවාය. “මං කවදාවත් හිතුවේ නැහැ ‍දවසක් මෙච්චර දිග වෙන්න පුළුවන් කියලා”

  “අනේ ඔයා හරි පව්!” ඇගේ සොයුරිය වූ මෞඩි කණගාටුවෙන් පැවසුවාය. ඇය යුහුසුලුව එහා මෙහා යමින් එමින් කාමරය පිළිවෙලක් කරමින් පසු වූයේ අම්මාගෙන් විසුමක් නොවන බව දන්නා බැවිනි. ඇත්තට ම එම සතිය තුළ කාමරය පිළිවෙලට තබා ගැනීම බාරව තිබුණේ නැන් හට වුවත් දින තුනකට පෙර ඇගේ කකුලක් ඇමැට්ටි වූ බැවින් සෝෆාවේ වැතිර කෙඳිරිගාමින් සිටිනු හැර ඇයට කළ හැකි වෙන අන් යමක් නොවීය. කඩිසර නව යොවුන් ගැහැණු දැරිවියක වූ නැන් හට එය ඉතාමත් වෙහෙසකර, එපාකරවනසුලු හිඳුමක් විය.

  “ඒ අස්සේ අද හවස පික්නික් එක!” ඇය සුසුම් හෙලුවාය. “මං මුලු ගිම්හාන කාලය පුරාම බලාගෙන හිටියා. බලන්න අද කොච්චර හොඳ දවසක්ද? මට වෙලා තියෙන්නේ ගෙදරට වෙලා මේ කකුල බදාගෙන ඉන්නයි”‍ නැන් රෙදිපටි ඔතා ඇති කකුල දෙස රවා බැලුවාය. මෞඩි ජනේලයෙන් එබී රෝස වැල ඇද මල් නෙලන අතරේ පාර දිගේ යන කිසිවෙකුට හිස වනන’යුරු නැන් දුටුවාය.

  “කවුද ඒ?” ඇය ඇසුවාය.

  “ෆ්ලොරී හැමිල්ටන්”

  “පික්නික් එකට එයත් එනවද?” එතරම් උනන්දුවකින් තොරව නැන් ඇසුවාය.

  “නැහැ. කවුරුත් එයාට එන්න කිව්වේ නැහැ. ඇත්තටම එයා එන්න කියයි කියලා හිතන්නත් නැතුව ඇති කියලයි මං හිතන්නේ. කොහොමත් එයා අපේ කාණ්ඩේ කෙනෙක් නෙමෙයිනේ. අනේ මන්දා! කොහොම ඉන්නවද කියලා ඉස්කෝලේ. ඔය විදිහට ඉන්න එක මහා එපා කරපු වැඩක් නෙමෙයි ද? මිස් බ්‍රැක්ස්ටන්ගේ ප්‍රයිවෙට් ස්කූල් එකට මේ ළමයාව එවන්න එයාගේ තාත්තාට පිස්සුද මන්දා. ෆැක්ටරි ඔවර්සියර කෙනෙකුගේ දුවක්!”

  “එක අතකට එයා අපේ කාණ්ඩේ නොවුණට අපේ පංතියේ කෙනෙක් වෙච්චි කොට එයාටත් පික්නික් එකට එන්න කියන්න තිබුණේ” නැන් මද වේලාවකින් පැවසුවාය.

  “ඇත්තට ම මං හිතන්නේ නැහැ ගියා වුණත් එයාට ඒක විනෝදයක් වෙයි කියලා. එයා අපි අතරට මුහු වෙන්න උත්සාහ කරන්නෙත් නැහැනේ. කාට හරි මේ ළමයාගේ හැටි දැක්කහම හිතෙන්න පුලුවන් ඒ කටේ දිවක් නැහැ කියලා” ඇය තවදුරටත් පැවසුවාය.

  “එයා පංතියේ හොඳම ළමයා!” මෞඩි තමන් සැරසූ රෝසමල් බඳුන නැන්ගේ වැලමිට අසළ වූ මේසය මතින් තබන අතරේ පැවසුවාය. “ඒත් ඔය ආරාධනා කිරිල්ල ගැන නම් වග කියන්න ඕනෑ පැටී මොරිසනුයි විල්හෙල්මිනා පැටර්සනුයි තමයි. එයාලා එයාට ආරාධනා කරලා නැහැ. - මේ බලන්නකෝ මගේ ආදර නැනී, හරිම ලස්සනයි නේද? මං මේ ටික ඔයාගේ තනියට ලඟින් තියලා යන්නම් හොඳේ”

  “අපොයි මේ. මං රෝස මල් එක්ක ඉන්නවට වඩා කෙනෙක් හොයා ගන්නවා!” කොට්ටයට වැරෙන් පහරක් ගැසූ නැන් පැවසුවාය.

  “ඔයාලා හැමෝම පික්නික් ගිහින් විනෝද වෙද්දී මං මෙතනට වෙලා තනියෙම දුක් වෙවි ඉන්නද? මං වෙනුවෙන් ෆ්ලොරි හැස්ටින්ස්ට පුංචි පණිවුඩයක් ලියන්න පුලුවන්ද ඔයාට? මං ඊට වඩා ගොඩක් දේවල් කරන්න පොරොන්දු වෙනවා ඔයා කකුල අඹරාගෙන පුටුව බදාගෙන ඉන්න දවසට හොඳේ”

  “හා... හා... ඒක එතකොටනේ. දැන් මොනවද මං ඒකේ ලියන්න ඕනෑ?” සිය ලිපි ගොනු අවුස්සන අතරේ මෞඩි ඇසුවාය.

  “පොඩි දෙයයි. එයාගෙන් අහන්න කරකියා ගන්න දෙයක් නැතිව අසරණව ඉන්න කෙනෙක් ව සතුටු කරන්න, අද හවස් අතේ එන්න පුලුවන්ද කියලා. එයා එනවා, මං ඒක දන්නවා. ඒ වගේ ම එයා එක්ක ඉන්නකොට කාලේ යනවා දැනෙන්නේ නැහැ... ලියලා, දැන්ම ම ඩිකීට දෙන්න ඒක ගිහින් දෙන්න කියලා”

  “අනේ මන්දා ෆ්ලෝරි හැමිල්ටන් එයාට පික්නික් එකට කියපු නැති එක ගැන හිත් අමාරු කර ගනීද මන්දා”යි තමාගෙන් ම විමසා ගනිමින් මෞඩි ලිපිය කවරය තුළට දමා ලිපිනය ලීවාය.

  ඒ විමසිල්ලට හරියට ම පිළිතුරු දැන සිටියේ, ඒ නැවුම් උදෑසන දිලිහෙන හිරු එළියේ තනිව මාවතේ ඇවිද යමින් සිටි ෆ්ලොරි හැමිල්ටන් හැර වෙන කවරෙක්ද? ඇය පැහැදිලි ව තත්ත්වය වටහාගෙන සිටියත් හිතුවාට වඩා දැඩි වේදනාවක් ඇගේ සිත රිදවමින් තිබිණ. ඇත්තට ම ඇය ව ගණන් නොගන්නා කෙල්ලන් රොත්තක් සමගින් පික්නික් යෑම කාංසියක් දනවන දෙයක් බව ඈ දැන සිටියාය. නමුත් පාසලේ සියලු ම දැරියන් ආරාධනා ලැබ සිටියදි ඇය ව මග හැර තිබීම! ඒ ගැන සිතෙද්දී ඇගේ තොල් පෙති හද පාරවන දුකකින් සැලෙන්නට වී.

  “ඉස්කෝල නිවාඩුවෙන් පස්සේ මාව රජයේ ඉස්කෝලේට දාන්න කියලා තාත්තාට කියනවා මං” ඇය තමාට ම මුමුණා ගත්තාය. “මට දැන් මේ මිස් බ්‍රැක්ස්ටන්ගේ තැන තිත්ත වෙලා”

  ෆ්ලෝරි, වින්බරෝ පෙදෙසට ආගන්තුක තැනැත්තියක වූවාය. මෑතකදි, ඇගේ පියාට මේ කුඩා ටවුමේ පිහිටි විශාලත ම කර්මාන්තශාලාවේ තනතුරක් ලැබිණ. පියා කර්මාන්ත‍ශාලා සේවකයකු වීම නිසා පාසලේ වූ නපුරු දැරියන්ගේ කෙනෙහෙළිකම් වලට ලක්වන්නට ඇයට සිදු වූ අතර සමස්තයක් ලෙස ගත් කළ මුළු පාසලේ ම දැරියන් ඇය ව තනි කළ ලෙසක් පෙනෙන්ට තිබිණ. ඇත්තට ම ආරම්භයේදී මිතුරු දෑත් සමහරක් ඈ වෙත දිගු කෙරුණද, තමා වටා වූ අවකාශයට එක්වන ම යහපත් ප්‍රතිචාරයක් දැක්වීමට අපොහොසත් වූ ෆ්ලොරි උදාසීන, කනස්සලු සහගත සෝමාරි කෙනෙකු වශයෙන් මුලු ගැන්විණි. එන්න එන්න ම තනි වන්නට වූ ඇය පාසලේ දී හුදකලා පෙවෙතක් ගතකළේ කිසිවෙකු නොමැති දූපතක දිවි ගෙවෙන කෙනෙකු මෙනි.

  “එයාලා මට කැමති නැහැ, මගේ මේ චාම්, මොස්තරයක් නැති ඇඳුම් නිසා, මගේ තාත්තා ඒ හැටි සල්ලි තියෙන කෙනෙක් නොවන නිසා” ෆ්ලෝරි කනගාටුවෙන් කල්පනා කළාය. සෑහෙන තරමේ ඇත්තක් වූ මේ කාරණය මිස් බ්‍රැක්ස්ටන්ගේ දැරියන් බොහෝ දෙනෙකු ඈ මග හැරීමට හේතුවිය.

  “මෙන්න ඔයාට ලියුමක් තියෙනවා ෆ්ලෝරි,” දහවලේ ඇගේ සොයුරු ජැක් පැවසුවේය. “ගෙදර එන වෙලාවේ කන්තෝරුවේදි ලැබුණේ. කවුද අප්පේ ඔයාට ලියන කෙනා?”

  ෆ්ලෝරි ඉමිහිරි සුවඳකින් යුතු වූ ලිපිය දිග හැරියාය. මුලින් වූ ගැටළු සහගත පෙනුම ඉවත් කරමින් මද වේලාවකින් ඇගේ මුහුණ බබලන්නට වී.

  “මේ අහන්නකෝ ජැක්,” ඇය උද්යෝගයෙන් පැවසුවාය.

  “ආදර ෆ්ලොරි,
නැන් අසනීපෙන්. එයාගේ කකුල ඇමැට්ටි වුණා. ඒ නිසා එයා ගෙදර කාමරේ සෝෆාවට කොටු වෙලා. ඉතින් අද හවස් වරුව එයාට තනියෙම ඉන්න වෙලා තියෙන්නේ. ඔයාට පුළුවන්ද ඇවිත් එයා එක්ක ඉන්න? එයාට ඔයාගේ පැමිණීම හරි ම වටිනවා. දැනටමත්, හවස පාලුවෙන් ඉන්නවෙයි කියලා කණගාටුවෙන් ඉන්න එයාට සතුට ගෙනෙන්න පුලුවන් එකම කෙනා ඔයා කියලා එයා හිතනවා.

  මීට,
  හිතවත් මෞඩි වොලස්”

  “ඉතිං ඔයා යනවද?” ජැක් ඇසුවේය.

  “ඔව්... මන්දා, මම දන්නේ නැහැ... මම ඒ ගැන හිතන්න ඔ්නෑ” අකල්පනාවෙන් මෙන් පැවසූ ෆ්ලෝරි විගස උඩු මහළේ සිය කාමරය වෙත දිව ගියාය.

  “මම යනව ද?” ඈ සිතුවාය. “ඔව්. මම යනවා. මට ඉන්තේරුවෙන් ම කියන්න පුළුවන් නැන් මට කතා කළේ පික්නික් එකට මට නොකී එක නිසා මම අවුලෙන් ඇති කියලා හිතලා, කණගාටු හිතිලා. එහෙම වුණා වුණත් ඒකෙන් පේන්නේ එයාගේ යහපත්කම. මං හැමතිස්සේ ම හිතුවේ මේ වොලස් ගෑණු ළමයි එක්ක හිතවත්කමක් ඇති කරගන්න තිබුණා නම් කොච්චර හොඳ ද කියලානේ. ඒ ගොල්ල හැම තිස්සේ ම මට හොඳින් සැළකුවා. මට තේරෙන්නේ නැත්තේ ඒ ගොල්ල ඉස්සරහ මගේ දිව ගල් ගැහිලා මහා මෝඩයෙක් වගේ මාව පෙනෙන්න ගන්නේ ඇයි කියන එකයි. කොහොම වුණත් මම යනවා”

  එදින සැඳෑවේ වොලස් මහත්මිය නැන්ගේ කාමරයට පැමිණියාය.

  “නැන්, මගේ පැටියෝ, ෆ්ලොරි හැමිල්ටන් ඔයාව අහගෙන ඇවිත් ඉන්නවා”

  “ෆ්ලොරි... හැමිල්ටන්...”
  “ඔව්. ඔයා අද උදේ යැව්ව මොකක්ද ලියුමක් ගැන කිව්වා. මම එයාට උඩට එන්න කියන්නද?”

  “හා... හා... එන්න කියන්කෝ” නැන් බිඳුනු හඬින් පැවසුවාය. අම්මා පිටව ගිය විගස පසුපසට වී කොට්ට මත හේත්තු වූ ඈ වේගයෙන් සිතන්නට වූවාය.

  “ෆ්ලෝරි හැමිල්ටන්! හරිනේ! මෞඩිට වාසගම වැරදිලා ලියැවිලා. නමුත් ඒක එයාට දැන ගන්න තියෙන්න හොඳ නැහැ. පුංචි සැකයක්වත් ඇති වෙන්න දෙන්න හොඳ නැහැ. අනේ අම්මේ! දැන් මොනවද මං එයා එක්ක කතා කරන්නේ? පුදුම තරම් නිහඬ ලජ්ජාකාරියක්නේ”

  ෆ්ලෝරිගේ පැමිණීමත් සමගින් වැඩිදුර කල්පනා කිරීමට මග ඇහිරිණි. ඇය දුටු සැනින් නැන් ඉතාමත් මිත්‍රශීලි සිනාවක් දක්වා දෑත විහිදුවාය.

  “ඔයාගේ හැන්දෑව, මේ කමකට නැති මං වෙනුවෙන් වෙන් කරපු එක ගැන බොහොම ස්තුතියි” ඈ හදවතින් ම පැවසුවාය. “ඔයා දන්නේ නැහැ මං කොච්චර පාලුවකින්ද හිටියේ කියලා මෞඩි ගිය වෙලේ පටන්. ඔය තොප්පිය ගලවලා තියලා, වැඩියෙම හොඳයි කියලා හිතෙන පුටුවේ වාඩි වෙන්නකෝ. අපිට කොච්චර දේවල් තියෙනවද කතා කරන්න!”

  කොහොම නමුත් නැන්ගේ හිතෛශි පිළි ගැනීමෙන් ෆ්ලෝරිගේ ලැජ්ජාව තුරන් වී ඇයට තමන්ගේ නිවසේ සිටින්නාක් මෙන් හැඟීමක් දැනෙන්නට විය. මෞඩිගේ පැද්දෙන පුටුවේ වාඩි වී වටපිට බලන විට දුටු රෝස මල් වලින් පිරුනු බඳුන ඇගේ ප්‍රීතිය වඩවන්නක් විය. ඒ බව දුටු නැන් මෙසේ ඇසුවාය. “ඒවා හරි ශෝක් නේද? අපි වොලස්ලා, අපේ රෝස වැල් නිසා පුදුමාකාර සතුටක් විඳිනවා. අපේ අත්තම්මාගේ අත්තම්මා මීට අවුරුදු හැටකට කලින් එංගලන්තේ ඉඳන් මෙහෙට පදිංචියට එද්දි මේවා ගෙනත් තියෙන්නේ. මේ වර්ගයේ බිත්ති දිගේ ඇදිලා වැවෙන රෝස වැල් මේ රටේ වෙන කොහෙවත් හැදෙන්නේ නැහැ.”

  “ඔව් ඔව් මං දන්නවා.” සිනාවකින් මුව සරසා ගත් ෆ්ලොරි කීවාය. “කාමරේට ආපු ගමන් මං ඒවා හඳුන ගත්තා. ඒවා හරියට ම එංගලන්තේ ඉන්න හැමිල්ටන් අත්තම්මාගේ ගෙදර තියෙන ජාතියමයි. මම ඒවාට බොහොම කැමැත්තෙන් හිටියේ”

  “එංගලන්තේ? ඔයා එංගලන්තේ ඉඳලා තියෙනව ද?”

  “අනේ ඔව්නේ” ෆ්ලෝරි සිනා පෑවාය. “මම ලෝකේ තියෙන හැම රටක් ගාවට ම ගිහින් තියෙනවා. අපි කියමු මෙහෙම, මම ගිහින් තියෙනවා නැවකට ලං වෙන්න පුළුවන් හැම රටක් ගාවට ම”

  “ෆ්ලෝරි හැමිල්ටන්! ඔයා ඔය ඇත්තම ද කියන්නේ?”

  “ඔව්. ඇත්ත ම ඇත්තයි. ඔයා සමහරවිට දන්නේ නැතිව ඇති අපේ ‘දැන් අම්මා’, ජැක් සමහරවිට කියන්නේ එහෙමයි, ඒ තාත්තාගේ දෙවැනි බිරිඳ. මගේ අම්මා මං පුංචි කාලෙ නැති වෙලා. බබාලා නැති නැන්දා කෙනෙක් එයා ගාවට මාව අරගත්තා. එයාගේ මහත්තයා මුහුදු නැවක කැප්ටන් කෙනෙක්. නැන්දා ඒ මාමාගේ සියලුම මුහුදු ගමන් වලට එකතු වුණා. ඉතින් මාත් එකතු වුණා. මම වැඩුනේ නැව් තට්ටුවේ. අපි බොහොම ප්‍රීතිමත් කාලයක් ගතකළා. මම ඉස්කෝලේ ගියේ නැහැ. නැන්දා බඳින්න ඉස්සෙල්ලා ටීචර් කෙනෙක්, ඉතිං එයා මට ඉගැන්නුවා. මීට අවුරුදු දෙකකට කලින් මගේ තාත්තා ආයේ කසාද බැන්දා. ඒ පාර තාත්තාට ඔ්නෑ වුණා මං ආයේ පවුලට එකතු වෙනවා දකින්න. මුලින්, නැන්දයි, අපේ පරණ නැවයි, ඔහේ පාවුණු ජීවිතෙයි දාලා එන්න ගොඩක් දුක හිතුණා. ඒත් මං ආවා”

  “අනේ, මට එයාලා ගැන සේරම දේවල් කියන්න” නැන් බොහොම උනන්දුවෙන් ඉල්ලා සිටියාය. “ඇයි ෆ්ලෝරි හැමිල්ටන්? හිතන්නකෝ ඔයා ඔයාගේ ඔය තරම් ලස්සන, වටින අත්දැකීම් ගැන එක වචනයක්වත් කවදාවත් කියලා නැහැනේ. මං හරිම කැමතියි වෙනත් රටවලට ගියපු අයගෙන් ම ඒ රටවල් ගැන විස්තර දැන ගන්න. අනේ කියන්න, මම අහගෙන ඉඳලා ප්‍රශ්න අහන්නම්”

  ෆ්ලෝරි මතක ඇති සියලු දේ කීවාය. ඇයට අගේ ඇති කතා ලතාවක් ඇති බව ද, ඇගේ සංචාරයන් ගැන හාස්‍ය මවමින් විශිෂ්ට ලෙස විස්තර කිරීමට හැකියාවක් ඇති බව ද වටහා ගැනීමෙන් වඩා විස්මයට පත් වූයේ නැන් ද ෆ්ලෝරි ද යන්න මට කිව නොහැක. බොහොම වේගයෙන් ගෙවීගිය සැඳෑව අවසානයේ, ගොම්මනේ ඇය පිටව යන්නට පෙර නැන්ගේ කාමරයේ දි පිරි නැමුණු ප්‍රණීත තේ බඳුන, හැකි ඉක්මනින් නැවත පැමිණෙන්නට කළ හෘදයාංගම ඇරයුමක් වැනි විය.

  “ඔයා ආපු නිසා මං ගොඩක් සතුටු වුණා” නැන් සුහද වදන් තෙපලුවාය. “මට ඇවිදින්න පුළුවන් වුණු ගමන් මම එනවා ඔයා බලන්න. හැබැයි එතකන් ඉන්න එපා. අපි හැමදාමත් හොඳ යාලුවෝ වෙලා ඉමු. කිසි හේතුවක් උවමනා වෙන්නේ නැහැ ඔයාට මෙහේ එන්න. මං මග බලාගෙන ඉන්න එක විතරක් මදැයි” සතුටු සිනාවකින් මුව සරසාගත් ෆ්ලොරි සැහැල්ලු හදවතින් යුතුව පිටව ගියාය.

  මද වේලාවකින්, හිරු රැස් වලින් දැවුණු දුඹුරු හමින් යුතු වූ මෞඩි, පික්නික් ගමනින් ප්‍රමෝදයට පත් සිතින් නිවසට ගොඩ වැදුණාය.

  “අද නම් හරි ම සතුටු දවසක් අනේ!” ඈ හඬ නැගුවාය. “ඔයා මෙතන හිර වෙලා හිටපු එක තමයි මට තිබුණු එකම දුක! ෆ්ලෝරි ආවා ද?”

  “එක ෆ්ලෝරි කෙනෙක් ආවා. මෞඩි, ඔයා ෆ්ලෝරි හැස්ටින්ස් ලියනවා කියලා වැරදිලා ලියලා තියෙන්නේ ෆ්ලෝරි හැමිල්ටන්ටනේ”

  “මොනවා! නැන්, ඔයා ඔය ඇත්තම ද කියන්නේ? මට විශ්වාසයි...”

  “ඔව්, ඔයා එහෙම තමයි කරලා තියෙන්නේ. මටත් එකපාර මොකක්ද වුණේ කියලා හිතාගන්න බැරි වුණා මෞඩි!”

  “මම ලියන වෙලාවේ හැබැයි එයා ගැන තමයි හිත හිතා හිටියේ. හරි වැඩේ! ඒ ගමන් මම එයාගේ නම ම ලියන්න ඇති දෙයියනේ! සොරි අනේ!...”

  “නෑ... නෑ... සොරි කියන්න උවමනාවක් නෑ. මතක ඇති කාලෙක ඒ තරම් සතුටු වෙලා නැහැ මං. ඇයි අනේ මෞඩි! එයා ලෝකේ වටේ ම කරක් ගහපු කෙනෙක්. අම්මේ! එයා වගේ විහිළුකාරියක්! හරිම ලස්සනට ඒ විස්තර කියවගෙන කියවගෙන යනවා අනේ! කොහෙත් ම අපි දන්න ළමයා නම් නෙමෙයි. එයා හරිම ආදරේ හිතෙන කෙල්ලෙක් මෞඩි!”

  “අම්මෝ! ඇති යාන්තම් මට හරි සතුටුයි ඔයා සතුටින් හිටියා කියලා දැන ගත්තම. ඔයා දන්නවද? කිහිප දෙනෙක් සෑහෙන නෝක්කාඩු කිව්වා එයාට ආරාධනා නොකරපු එක ගැන. ඒගොල්ලො කියන්න ගත්තා ඒක හරිම කැත විදිහේ නපුරු කමක් කියලා. අන්තිමට පැටියි විල්හෙල්මිනායි වැරැද්ද තමන්ගේ බව පිළිගත්තා. මට හිතෙන්නේ මිස් බ්‍රැක්ස්ටන්ගේ ඉස්කෝලේ අපි පමණට වඩා උඩඟු වෙන්න පටන් අරං වගෙයි. දැන් ඒක තේරිලා කිහිප දෙනෙක් ම ලැජ්ජා වෙලා ඉන්නේ”

  “ඉවසලා ඉන්නකෝ ඉස්කෝලේ පටන් ගන්නකම්!” නැන් පැවසුවාය. ඇය අදහස් කළ දේ මෞඩි වටහා ගත්තා විය යුතුය.

  කොහොම නමුත් ඒ දෙදෙනාට පාසල් ආරම්භ වනතුරු ඉන්නට ඉඩ ලැබුණේ නැත. වොලස් දැරියන්, ෆ්ලෝරි හැමිල්ටන් සිය සමාගමයට එකතුකරගෙන ඇති බව වැඩිකල් නොයවා ම වින්බරෝ පළාතේ සියලු ගැහැණු ළමෝ දැන ගත්තෝය. වොලස් ළමයි කැමති වෙන්න, මුලදි හිතුවාට වඩා යමක් ෆ්ලෝරි වෙත තිබිය යුතු බව මිස් බ්‍රැක්ස්ටන්ගේ සිසුවියන් කිහිප දෙනෙකු තර්ක කරන්නට විය. වැඩි කල් යන්නට මත්තෙන්, ෆ්ලෝරි සිය කුලෑටිකමින් මිදුණු විට ඉතාමත් ප්‍රියජනක දැරියක බව ටිකින් ටික සියලුම දැරියනට වටහා ගන්නට හැකි විය. පාසල ඇරඹෙන විට පංතියේ ජනප්‍රිය ම චරිතය බවට ඇය පත්ව සිටි බව අමුතුවෙන් කිවයුතු නැතැයි මම සිතමි. ඇය හා නැන් වොල්ස් අතර ගොඩ නැගුණේ, ඔවුන්ගේ ජීවිත කාලය පුරා ම පැවතුණු, හෘදයාංගම වූත් ලෙංගතු වූත් ගැඹුරු මිතු දමකි.

  “මේ හැමදේම මෞඩි වචනයක් වරද්දපු නිසානේ” දිනෙක නැන් මද සිනාවකින් යුතුව තමාට ම මතුරා ගත්තාය. නමුදු එම කාරණය ෆ්ලෝරි හැමිල්ටන් කිසිදාක දැන නොගනු ඇත.

~

Nihal Ananda

unread,
Nov 13, 2023, 2:07:20 AM11/13/23
to INDRAKA group
ඉතා හොඳ කතාවක් .....(මට නම් )
ලමා කථාවක් ලෙස පෙනුනත් .....ඊට වඩා අර්ථවත්. ප්රියජනකයි , feel good.
කෙටි කතා .....කියන සාහිත්‍ය අංගයටත් හොඳ උදාහරණයක් .

මේ කතාව ලියල තියෙන Lucy Maud Mountgomry (1874 -1942 ) ඉංගිරිසි සාහිත්‍ය ලෝකයෙ දැවන්ත චරිතයක්. ⁣ලියා ඇති කෙටිකතා 500කට වැඩියි !
ඇය ලියා ඇති Anne of Green Gables ලොව පුරා ප්රසිද්ධ කතා මාලාවක්. ලංකාවෙත් මේ කතා ප්රසිද්ධ යි. සිංහල පරිවර්තන තිබිය හැකියි.
Wikipedia page  ඇය ගැන දීර්ඝ විස්තරයක් ,marriage ගැන පවා, තිබෙනවා. කියවීමත් කෙටිකතාවක් වගේ. interesting !
1900 ගනන්වල ,කැනඩාවේ කොනක, කුඩා දූපතක "ලියන්නියකට " ලෝකයට කොපමණ බලපෑමක් කල හැකි ද.....කියා හිතෙනවා.
ඇය ලියා ඇති කෙට්කතා නම් ලැයිස්තුවක් ද මෙහි ඇතුලත් .  
1904 වර්ෂයේ ....."A fortunate Mistake " අපි කියවන කතාව විය යුතුයි .


Lucy Maud Montgomery OBE (November 30, 1874 – April 24, 1942), published as L. M. Montgomery, was a Canadian author best known for a collection of novels, essays, short stories, and poetry beginning in 1908 with Anne of Green Gables. She published 20 novels as well as 530 short stories, 500 poems, and 30 essays. Anne of Green Gables was an immediate success; the title character, orphan Anne Shirley, made Montgomery famous in her lifetime and gave her an international following.[1] Most of the novels were set on Prince Edward Island, and those locations within Canada's smallest province became a literary landmark and popular tourist site – namely Green Gables farm, the genesis of Prince Edward Island National Park. She was made an officer of the Order of the British Empire in 1935.

Lucy Maud Montgomery

L. M. Montgomery
Montgomery, c. 1935
BornNovember 30, 1874
Clifton, Prince Edward Island, Canada
DiedApril 24, 1942 (aged 67)
TorontoOntario, Canada
OccupationFiction writer
EducationPrince of Wales CollegeDalhousie University
Period1890–1940
GenreCanadian literaturechildren's novelsshort fiction, poetry
Notable works
SpouseEwen Macdonald
Children3

Montgomery's work, diaries, and letters have been read and studied by scholars and readers worldwide.[2] The L. M. Montgomery Institute, University of Prince Edward Island, is responsible for the scholarly inquiry into the life, works, culture, and influence of L. M. Montgomery.























.

Nissanka Rajapaksa

unread,
Nov 13, 2023, 5:33:20 PM11/13/23
to INDRAKA group
12
සෙවණැල්ලක් - A Short Story by R K Narayan


“හෙට මට චිත්‍රපටය බලන්න යන්න ඇනා හතරක් ඕනෑමයි”

සම්බු පැවසුවේය. ඔහුගේ මව තිගැස්සුණාය. චිත්‍රපටය ඇරඹී ගෙවී යන මාස හය පුරා ඇගේ සිතේ පැවතෙන්නේ පුදුමාකාර වේදනාවකි. ඔහු තවම ජීවතුන් අතර නැති බව දැන දැනත් මිනිසුන් ඔහුගේ රුව නරඹනුයේ කෙසේදැයි ඇයට සිතිණි. ඇගේ සිතෙහි ඉපැදුණු වේදනාව නිසාම නිෂ්පාදකවරයා චිත්‍රපටය ප්‍රදර්ශනය නොකරනු ඇතැයි ඇය සිතුවාය. කෙසේ මුත් දැන් චිත්‍රපටය ප්‍රදර්ශනය වෙයි. ඇගේ සැමියා අඩුම තරමේ දැන් දිනකට පැය හයක්වත් මිනිසුන් ඉදිරියේ යළි ජීවමාන වන්නේය.
සිය පියා යළි ජීවමාන වීම පිළිබඳව සම්බු ප්‍රමෝදයට පත්ව සිටියේය.

“අම්ම එන්නේ නැද්ද මාත් එක්ක චිත්‍රපටිය බලන්න යන්න?”

“නෑ!”

“අනේ අම්මා එන්නම ඕන”

චිත්‍රපටය නැරඹීම කෙතරම් වේදනාවක්දැයි පහදා දෙන්නට ඇයට හැකියාව තිබිණි. එහෙත් සම්බු හට එවැනි පහදා දීම් අදාළ වූයේ නැත.

පසුවදා මුළුල්ලේ ම සම්බු සිටියේ මහත් ප්‍රමෝදයකිනි. පංති භාර ගුරුතුමාගෙන් නෙත් ඉවතට යන සෑම මොහොතකම තම  සඟයා වෙත නැඹුරු වී, "ඒ චිත්‍රපටියේ රඟපානවාට මගේ තාත්තාට රුපියල් දහදාහක් ගෙව්වා. අද හවස ඒක මම බලනවා. නුඹත් එනවද 'කුමාරි' බලන්න?”

ඔහුගේ සගයා මැළි වූයේය. ඔහු දෙමළ චිත්‍රපටවලට වෛර කළේය.

“මම ඒ පාරෙන්වත් යන්නේ නෑ”

“මේක වෙන දෙමළ චිත්‍රපටි වගේ නෙවෙයි. මගේ තාත්තා හැම රැයකම අපට කතන්දර කියලා දෙන්න පුරුදු වෙලා හිටියා. මේ චිත්‍රපටියේ කතාව ලිව්වෙත් තාත්තා. ඒක ලස්සන කතාවක්. ඒක ලියනවටයි, රඟපානවටයි තාත්තාට රුපියල් දහදාහක් ගෙව්වා. නුඹත් එනවා නම්, මම නුඹව එක්ක යන්නම්”

“මම දෙමළ චිත්‍රපටි බලන්නේ නෑ!”

“මේක නිකම්ම දෙමළ චිත්‍රපටියක් නෙවෙයි. ඉංග්‍රීසි චිත්‍රපටියක් තරමටම හොඳයි.”

එහෙත් සම්බුගේ සගයා කැමැති වූයේ නැත. චිත්‍රපටය නැරඹීමට තනිවම යාමට ඔහුට සිදු විය. වයස දාහතරේ දී විවාහ වීමට අකැමැතිව, සරසවි අධ්‍යාපනය ලබා තනිවම ජීවත්වන්නට උත්සාහ දරන අතරේ සිය සැර පරුෂ පියා විසින් පන්නා දැමෙන ‘කුමාරි‘ නම් තරුණියක පිළිබඳ කතාවක් මේ චිත්‍රපටයෙන් කියැවිණි. සැර පරුෂ පියා වූයේ සම්බුගේ පියා ය. නමුත් පියා අවසානයේ ඇයට සමාව දෙන්නේය. සම්බු චිත්‍රපටය ඇරඹෙන තුරු බලා හුන්නේය. ඔහු පියාව අවසන් වරට ජීවමානව දැක මාස හයක් ගතව තිබිණි.

ශාලාව අඳුරු විය. ඔහුගේ පියා තිරය මත ජීවමාන විය. ඒ රුව සම්බුගේ නිවසේ සිටි ඔහුගේම පියාගේ සෑම ඉරියව්වකින්ම යුක්ත විය. කුඩා දැරිය ඔහු වෙත පැමිණියාය. පියා ඇයට අංක ගණිතය ඉගැන්වූයේය.

“කරත්තකාරයෙක් හැතැප්ම දෙකක් යන්න ඇනා හතරක් ගන්නවා. රාමා ළඟ තියෙන්නේ ඇනා තුනයි. රාමාට කරත්තෙන් කොයි තරම් දුරක් යන්න පුළුවන්ද?”

එවිට දැරිය කල්පනාවට වැටෙන්නීය.

“මට පුළුවන් එයාට වැඩිය”

සම්බු එසේ සිතුවත් දැරිය ඔහුට වඩා ගණන්කාරියක වූවාය. ඈ නිවැරදි පිළිතුර දුන්නාය.

චිත්‍රපටය නිමවී ආලෝකය දැල් වූ පසු සම්බු සිනමා ප්‍රක්ෂේපණ යන්ත්‍රය ඇති කුටියේ කවුළුව දෙස බලා හුන්නේය. එය තුළින් තම පියා අතුරුදහන් වූයේය යන හැඟීමක් ඔහු තුළ ඉපැදිණි. පියා නොමැතිව ලොව පාළු තැනකැයි ඔහුට හැඟිණි. ඔහු නිවසට දිව ගියේය. ඔහු එනතුරු මව දොරකඩ බලා හුන්නාය.

“රෑ නවයත් පහු වුණා. නුඹ හුඟක් පරක්කුයි.”

“චිත්‍රපටය තව වෙලා තිබුණා නම් මම කැමතියි. අම්මා නම් හරිම පුදුම කෙනෙක්. ඇයි ඒක බලන්නේ නැත්තේ?”

රෑ කෑම වේල ගන්නා අතරතුරේම ඔහු දෙඩුවේ චිත්‍රපටය පිළිබඳව ම ය.

“තාත්තා සිංදු කියනවා වගේමයි. ඇවිදිනවා වගේ ම යි.”

ඔහුගේ මව බොහෝ නිහැඬියාවකින් සියල්ල අසා සිටියාය.

“ඇයි අම්මා මොකුත් නොකියන්නේ?”

“අම්මා චිත්‍රපටියට අකැමතිද?”

ඈ පිළිවදන් නොදුන්නාය.

“හෙටත් චිත්‍රපටිය බලන්න නුඹ කැමති ද?”

ඈ ඇසුවාය.

“ඔව් අම්මේ. චිත්‍රපටිය පෙන්නලා ඉවර වෙන තුරු හැමදාම මට ඇනා හතරක් දෙනවා නේද?”

“ඔව්”

“අම්මා එන්නේ නැද්ද චිත්‍රපටිය බලන්න?”

“බෑ ඒක කරන්න බෑ.”

සතියක් තිස්සේ දිනකට පැය තුනක් පුරා සම්බු සිය පියා සමග ජීවත් වූයේය. සෑම දර්ශනයකම අවසානයේ ඔහුට මහත් වේදනාවක් දැනුණි. සෑම දිනකම තම පියාගෙන් වෙන්ව යනවා මෙන් හැඟීමක් ඔහුට දැනුණි. ඔහුට රාත්‍රී දර්ශනය නරඹන්නට ද සිතුණි. එහෙත් ඔහුගේ මව ඔහුගේ පාඩම් වැඩ ගැන බියට පත් වූවාය. කාලය බොහෝ වටිනා දෙයක් විය. එහෙත් මව ඒ අවබෝධ කර ගන්නා වගක් නොපෙනුණි. පාඩම් වැඩ කවදා නම් කළ නොහැකිද? නමුත් පියා බලන්නට සැමදා නොහැකිය.

ඔහුගේ නොනවතින පෙරැත්තය හමුවේ අවසන් දවසේ දර්ශනය නැරඹීමට ඔහුගේ මව කැමති වූවාය. ඔවුහු රාත්‍රී දර්ශන වාරයට ගියහ. ඈ ගැහැනු පන්තියේ හිඳ ගත්තාය. චිත්‍රපටය නැරඹීම සඳහා ඈ සතුව තිබූ සියලු ශක්තියම වඩවා ගන්නට ඇයට සිදු විය. වෙළෙඳ දැන්වීම් පෙන්වන තුරා ඇයට සහනයක් දැනුණි. චිත්‍රපටය ඇරඹෙන විටම ඇගේ හද ගැස්ම වේගවත් විය. සිය සැමියාගේ සියලු සැබෑ හැඟීම් තිරය මත පිළිබිඹු විය. සියල්ලම ඇය තුළ ඇති කළේ වේදනාවකි. දෑස් වසා සිටින්නට ඇය කිහිප වරක්ම තැත් කළාය. නමුත් චිත්‍රපටය ඇයව කුල්මත් කළේය. සෑම වේදනාබර සිදුවීමක්ම ඇයව කුල්මත් කළේය. ඔහු පුටුවක් මතට වී පුවත්පතක් කියවන දසුනක් තිරයේ පතිත විය. ඔහු සැබෑ ජිවිතයේ ද පුවත්පත් කියවන්නට බොහෝ ඇළුම් කළේය. ඈ නිතරම ඒ පිළිබඳව දබර කළාය.

“ඔයයි ඔයාගේ පත්තරයයි තමා ඉතින් . . .”

මද වේලාවකින් පුවත්පත ඔහුගේ මුහුණට පතති වී ඔහුට නින්ද යන්නේය.

එය ඇය දරා ගත නොහැකි දර්ශනයක් විය. ඇයට ද නොදැනී ඇයට ඉකි ගැසුණි.

පිරිමි පැත්තේ වාඩි වී සිටි සම්බු, පියා පුවත්පත කියවන දර්ශනයට මහත් සේ ඇළුම් කළේය. මන්ද එවිට දැරිය පියා කරා පැමිණ කියවන්නේ කුමක්දැයි අසන නිසාත්, එවිට පියා ඇයට තදින් කෑගසන නිසාත් ය.

“කුමාරි යනවා යන්න මෙතනින් අහකට!”

පියා සමග සිටිය යුත්තේ කෙසේදැයි දැරිය දන්නේ නැත. ඔහු ඇයට දැඩි ලෙස අකැමැති ය.

මේ දර්ශනයේ ඔහු ගිලී සිටින අතරේ ගැහැනු පැත්තෙන් ඉකි බිඳින හඬක් ඇසුණි. එය කෙමෙන් විලාපයක් බවට පත් විය.

“ලයිට් දාන්න. කාට හරි කරදරයක්”

චිත්‍රපටය නැවතිණි. මිනිස්සු කෝපයට පත් වූහ. බංකුව මත නැගි සම්බු සිදුවන්නේ කුමක්දැයි බැලුවේය.

“මේ මගේ අම්මා. අනේ අම්මේ මොකද? අම්මා මැරිලද?”

සම්බු විලාප දෙමින් එතැනට දිව ගියේය. ඔහු හඬන්නට විය.

“එයාට කලන්තයක් විතරයි. කලබල කරන්න එපා.”

කවුදෝ පැවසුවේය. ඔවුහු ඇයව ශාලාවෙන් පිටතට ගෙන ගියහ. ශාලවේ ආලෝකය නිවුණි. මිනිස්සු යළි අසුන් කරා ගියහ. චිත්‍රපටය නැවත ආරම්භ විය. මව දෑස් හැර නැගී සිටියාය.

“අපි යමු”

ඇය පැවසුවාය.

“හොඳයි අම්මේ”

ඔහු කුළී රථයක් නවත්වා ඇයට එයට නගින්නට උදව් කළේය. ඔවුන් එයට නගින අතරේ අඳුරු ශාලාවෙන් ඔහුට හුරු පුරුදු හඩක් ඇසුණි.

“කුමාරි යනව යන්න මෙතනින් අහකට!”

එය ඇසෙත්ම සම්බුගේ හදවත බර වන්නට විය. ඔහුගේ දෑසින් කඳුළු පැන්නේය. මවගේ අසනීපයත්, පියාගේ සමුගැන්මත් ඔහුගේ සිතේ ඉමහත් වේදනාවක් උපදවා තිබිණි.

හෙට සිට පෙන්වනු ඇත්තේ අලුත් චිත්‍රපටයකි.

Nissanka Rajapaksa

unread,
Nov 14, 2023, 4:22:55 PM11/14/23
to INDRAKA group
13

සැකකාරයා - කෙටි කතාව


කාමරය පුරා ගිගුරුම් දෙමින් ඇසෙනා හඬවල් ගණනාවකි. ඒ හැම හඬකම ඇත්තේ උස් කෑගසුමකිනැත්නම් විලාපයකිගෝරනාඩුවකි. ඒ සියලුම හඬ මිශ්‍රවී එක් එක් සංඛ්‍යාතවලින් කාමරයේ බිත්තිවල හැපී නගන්නාවූ ශබ්දය ඉතා අමිහිරියකර්ණකාශ්ඨකය. බිත්තිවල වදින සෑම හඬක්ම එක් කණෙකින් ඇතුලුවී හිස්කබල තුල ඒ මේ අත වැදී මොළයට තදින් පහර දේ. ඒ පහරවල වේදනාව ස්නායු දිගේ හෘදය වස්තුව දෙසට වේගයෙන් ගමන් කරයි. ඒ වේගය නිසාවෙන් රුධිර ගමනය ද වේගවත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස හෘදය වස්තුවේ ගැස්මේ වේගය සියයට ගණනාවකින් වැඩිවූ බව මට දැනුණි.

“වැරදියි...වැරදියි..වැරදියි..නරුමයා..නරුමයා...නරුමයා...අධමයා...අධමයා..අධමයා..“

ඒ සියලු වාග් මාලාවන් වචන මාත්‍රයෙන් පැහැදිලි කිරීම් ද සමග විශාල අරගලයක ය. හිස බදාගෙන විඳගැනීමට නොහැකි තරමට ඒවා වේගවත්යඑමෙන්ම ශක්තිමත්ය. මෙලෙස මොහොතක් ගතවන්නට ඇත. බැරිම තැන හැඳි වස්ත්‍රය පිටින්ම කාමරයෙන් එළියට බසින්නට සිත්විය. ඉන්පසු දිගු සාලයෙන් පිටවිය. පසුව කොරිඩෝවෙන් හා ඉස්තෝප්පුවෙන්ද පිටවිය. වචන වලට වඩා මා ඉස්සර විය. පාද චලනයන් යුහුසුළු විය.


මිදුල පසුකර පියවර ගණනාවක් තබද්දීත් කාමරයේ බිත්තවල දෝංකාරය ඇසෙන්නට විය. ඒ හඬ නොඇසී යන තෙක් වේගයෙන් පා තබා ඇවිදින්නට විය. හෘද ස්පන්ධනය තවත් වේගවත්යහති වැටීම් එක ලඟ එක එන්නට එන්නට ලංව දැනේ. ඇතැම්විට හතිවැටීම් දෙකක් දැන් දැන් එකට එක්ව විශාල හතිවැටීම් නිර්මාණය කරමින් ඇතිබව දැනුණි. අතුරු මාර්ගයේ පුරන් කුඹුරු දෙක මැදින් මා වේගවත් ගමනේ ය.

‘චූටි පුතේ...‘

අම්මාගේ හඩ කොහේ හෝ ඈතකින් ඇසෙන්නට විය. ගමන නතර කර ඒ මේ අත බැලුව නමුත් රුවක් නොවීය. ඒ හඬ ආවේ හිත ඇතුලෙන්ම යන සැකය සනාථ විය. හිත ඇතුලෙන් මතුවෙමින් ආ ඉකිය පිට වන්නට අවකාශයක් නොවුණු තැන උගුරෙන් ආ ගැස්ම සමගින් ඇස්දෙක කඳුළුවලින් පිරුණි. ඇහිපිය පුපුරා යන තරමට ඒ කඳුළු ප්‍රබල විය.

අඩිය ඉක්මණ් කර මා නැවත පටන් ගන්නට ඇත. බොහෝ දුරක් ගතවන තෙක්ම මාර්ගය හරිහැටි නොපෙනුන බවත් තද මීදුමක් මැද්දෙන් මා ගමනේ යෙදෙන බවත් සිතාගනිමින් ගමනේ යෙදෙන්නට ඇත. ගමන් වේගය ඉඳහිට වැඩවීම් අඩුවීම් වූව ද රබර් පාවහන්වල ශබ්දය හැරෙන්නට එය නිශ්චය කරගත හැකි යමක් නොවීය. එසේ මා බොහෝ දුර ගමන් කරන්නට ඇත.

ඇතැම් තැන්වල මිනිසුන් මා දෙස බලනු දකින්නට ලැබුණේ ඇස්වලට උඩින් තිබූ ඝන මීදුම ඉවත්ගිය ගිය පසුවය. ඇතැම් මුහුණුවල විශ්මයඇතැම් මුහුණුවල සැකය මෙන්ම අවිනිශ්චිත බවද දක්නට ලැබිණි. එහෙත් ඒ සියලු දේ අවශේෂ සිතිවිලි ලෙසින් මතකයෙන් තත්පරයෙන් දහයෙන් පංගුවකටත් අඩු කාලයකින් මකා දමා මා ගමනේය. තවත් හෝරාවක් හෝ දෙකක් මා හැරෙන හැරෙන අත ගමන් කරන්නට ඇත.

සිහින් වැසි පොදු වැටී තිබුණා මතකය. දැන් එය දොඹගෙඩි තරම්ව අහසින් වැටී මාගේ හිස මෙන්ම වස්ත්‍රද තෙමෙමින් ඇද හැලෙද්දී කුමක්දෝ සහනයක් දැනෙන්නටද විය. වැස්සට අකමැති මට වැස්සට කැමතිවෙන්නට ම විය. වැසි අඩුවෙන තෙක්ම මා ගමනට විරාම නොදුණි.

සැඳෑ අඳුරේ සේයාවන් පෙනෙන තෙක් මා ගමනේය. කුරුල්ලන් කැදලි සොයා පියාසර කරද්දී මා කැදැල්ලෙන් බොහෝ ඈතය. ඒ හැබෑවටම කැදැල්ලද කියා කුරුල්ලන් පවා නොදන්නේ තාවකාලික කැදැල්ලක් මිස ස්ථිරසාර කැදලි උන්හට අරුම බැවින් විය යුතුය. මාගේ ගමන් වේගය අඩුවන්නට විය. වෙහෙස යම්තාක් දැනුණු අතර බොහෝ වේලාවක් තිස්සේ දෝංකාර දුන් වාග් මාලාවන් නොඇසුණ නිසා මා ප්‍රකෘති තත්වයෙන් පරිසරය විමසන්නට විය.

‘ආදර හැඟුම් - ආදර හැඟුම් - නුපුරුදුයි මට නුපුරුදුයි....‘

අමරදේවයන්ගේ ළගන්නා ස්වරය කොහේ හෝ සිට අවකාශයට මුසුවෙයි. වෙනදා නොදැනුණු තරම් සොඳුරු ලෙස ඒ හඬ ඇසෙන්නට විය. ශ්‍රවණාරාධනා මුලින්ම රසවිඳි විදුලකර සරසවියේ රංග ශාලාවේදී සජීවීව ඇසුණාටත් වඩා හෘදයාංගමව ඒ හඬ ශ්‍රවණය විය. බිත්තිවල හැපී වචන වලින් හිස්කබල පසාරුකර ඇති තැන් පිරිමදිමින් ඇසෙන්නට විය.

තද නිල් පැහැති රථයක සියුම් තිරංග හඬ ගීතයේ හඬට බාධාවක් විය. මා පසුකරගිය රථය සෙමෙන් පසුගමනෙන් මාවෙත ලංවූ අතර රියන් කිහිපයක පරතරයක් තබා නතරවිය. එයින් බට කාකි පැහැ නිලඇඳුම් හැඳගත් නිලධරුවන් කිහිප දෙනෙක් මා වෙත පැමිණියහ.

‘කොහෙද යන්නේ තමුන්..‘

‘මම ගමනක් යනවා..‘ මාගේ පිළිතුරු අංග සම්පූර්ණ නොවීය

‘කොහෙද ගමන..?‘

‘ගන්න ජාතික හැඳුනුම්පත..‘

ඔවුන්ගේ විමසුම්සහගතනොරිස්සුම්සහගත සහ සැකමුසු බැලුම් මැද අමරදේවයන් නිහඬවිය. කිහිපදෙනෙක් එක්වර අසන්නාවූ ප්‍රශ්න නිසා නැවතත් හිසතුල මින් හෝරා කීපයකට පළමුව ඇසුණු වචන දෝංකාර දෙන්නට විය.

‘ලඟට යන්නේ..‘

‘හරි කෝ දෙන්න බලන්න අයිඩින්ටි එක..‘

සාක්කුවලට අත් දමා බැලූවද එහි කිසිවයක් නොවීය. සාක්කු දෙකම සාධාරණය. ඒවා ගෙදරදී හිස්යබොහෝ දිනවලදී හැඟීම් විරහිතවනා පරිද්දෙන්ම සාක්කු දෙක හිස්වීම ස්වාභාවිකය. හිස් සාක්කු දෙක නිලදරුවන් දකින්නට ඇත.

‘නෑ නේද..එහෙනම් කරුණාකරලා ජීප් එකට නගින්න..‘

‘ඇයි ඒ..?‘ විමතියට පත් මා හට අසන්නට වෙන පැනයක් නොවීය.

‘අපිට තමුන්ව සැකයි..හදිසි නීතිය යටතේ අපිට තමුන්ම අතඅඩංගුවට අරගන්න පුළුවන්..දැන් යමු..‘

වාද කිරීම නිශ්ඵලය. එය වටහාගෙන බොහෝ කාලයක් ගතවී ඇත. වාසිටියේ තෙල් බැම්ම මත සිට සිය ගණනක් සමග ගැඹුරු දේශපාලනික කාරණා ගැනදර්ශනය ගැනකලාව ගැන ඇතිතරම් වාද හරඹ කරගෙන ඇත. වාදීභසිංහ වෙසින් කෙරුණු වාදයන් පසුකාලයේ වාසිටියෝ කොහේදී හෝ මගහැරෙන්නට ද ඇත. ඒ නිසා පසුකලෙක වාද කිරීම නිශ්ඵල බව පමණක් ලියා තබාගත්තෙමි.

කාකි නිලදරුවන්ට අවනතව නිල් පැහැති ජීප් රියේ විවෘතවූ පිටුපස දොරෙන් ඇතුලට ගොස් වාඩිවුනෙමි. අරක්කු ගඳදහඩිය ගඳපුස්ගඳ මිශ්‍ර අපුල ගන්ධයක් එයින් වහනයවිය. මොහොතකට එය හුරුවනතෙක් හුස්ම සීමා කලෙමි.

‘චූටි පුතේ..දවල්ට කාලද..‘

අම්මාගේ හඬ කොහේදෝ සිට නැවත ඇසෙන්නට විය. උදරය තුලින් ඇසෙන ඉකිබිඳුම් හඬ මතක් කර දුන්නේ දහවල බත මගහැරුණු බවය..
‘නෑ අම්මේ..‘ දෙතොල් සෙලවුණා පමණි. වචන පිටනොවුණි. එහෙත් නිලදරුවන් එයද සැකමුසු නෙතින් බලා සිටියහ. ඔවුන්ගේ දෙඅත් ටී පනස්හයට කිටි කිටියේ තදවිය. ඔවුන් සීරුවෙන්ය.

‘බත් ඩිංගිත්තක් බෙදන්නද..?' අම්මාගේ හඬ ඈතින් ඇසෙන්නට විය. එයට හා කියන්නද එපා කියන්න කියා නිනව්වක් නොවීය. ජීප් රථය ගේට්ටුවකින් ඇතුල් කර නතරවී නිහඬවිය. නිලදරුවන් මා කැඳවාගෙන ගොඩනැගිල්ල තුලට පිවිසීය. මා පැනයන්නට හෝ දඟලන්නට උත්සාහයක් නොගන්නාබව හැඳින තිබුණ නිසාදෝ ඔවුන් මා හට නිදැල්ලේ ඒ තුලට යන්නට ඉඩ සලසා දී ගමන් මග පමණක් පෙන්නා දුනි.

මා බංකුවක් උඩ වාඩිවී තදින් හුස්ම ගන්නට පටන් ගනිද්දී මා රැගෙන ආ නිලදරුවා එහි සිටි දෙඋරේ තරු සහිත තවත් ඉහළ නිලදරුවෙක්ට ගතු කියන අයුරු පෙණිනි. ඔහු ඉදිරියේ රැඳී සිටි මැදි වයසේ අඹු සැමි යුවල තදබල වාදයක ය. බිරිඳගේ හිසේ තුවාලයකි. අරක්කු ගඳ මුවින් වහනය වන සැමියා හේතු කියන්නට විය. පැමිණිල්ල සටහන් කරගෙන ඔවුන් වෙනතකට යොමු කරන ලද තරු සහිත නිලදරුවා මා දෙස බලා ඒ දෙසට කැඳවන්නට විය.

මම ඔහුට අවනතව අසලට ගියෙමි. පොතේ අලුත් පිටුවක් පෙරලමින් මේසය දෙස බලාසිටි නිලදරුවා මා දෙස සෘජුව බලා විස්තර අසන්නට විය.

‘මහත්මයාගේ නම‘

‘බුවනෙක‘

‘මොනවද කරන්නේ?‘

‘රෝයල් බ්‍රවුන් කොම්පැණියේ අලෙවි කළමණාකරු‘

නිලදරුවා එක්වරම දෑස් යොමුකලේ මගේ දෑස් දෙසය. මම මේසය දෙසට නෙත් යොමා සිටියෙමි. කුමක්දෝ අසරණ කමක්නැත්නම් අපහසුතාවයක් දැනෙන්නට විය. පොලීසියකට ආවේ වසර ගණනාවකට පසුව නිසා වන්නට ඇත.

‘මහත්මයා මෙහේ එක්කගෙන එන්න හේතුව සැකසහිත පුද්ගලයෙක් විදිහට නම්කරලා ලැබුණු දුරකතන ඇමතුම් කීපයක් නිසා..ඒ වගේම..තව..අනන්‍යතාව හෙළිකරන්නට අපොහොසත්වීම.. ‘

සිහින් සිනාවක් මුවේ ඇඳුණද එය මාගේ මුහුණෙන් සැනින් අතුරුදහන් වූවා විය යුතුය. ඉදිරියට කුමක් අසනු ඇතැයි යන්න බලාපොරොත්තුවෙන් පසුවිය.

‘මහත්මයා කොහේද යමින් හිටියේ..ඇරත් හැඳුනුම්පතවත් ලඟ නැතිව..මේ වැස්සේ..ඇරත් පැමිණිල්ල කරපු කෙනා ඇවිල්ලත් ඉන්නවා..සැකයි කියලා බොහොම තදින් කිව්වා..මං හිතන්නේ මහත්තයා ගැන ඒ පැමිණිලිකාරයා ගොඩක් වෙලා ඔබ්සර්ව් කරන්න ඇති..‘

මම හිස හරවා බැලීමි. පැමිණිලිකරුයැයි විශ්වාසකල හැකි පුද්ගලයා මා පසුපස බංකුවේ විය. මා ඔහු දෙස බලා සිනාසුනි. හෙතෙම මා දෙස රවා බැලීය. මම මදක් බලා සිට නැවත නිලදරුවා දෙස බැලීමි. ඔහු මගේ දෙස සෘජුව බලාසිටිනු දුටුවෙමි.

‘මහත්මයාට මොකුත් ප්‍රශ්නයක් ද..නැත්නම් මොකුත් අසනීපයක්ද?‘

ඉතා විනීතව සහ සුහදව ප්‍රශ්න අසන මේ නිලදරුවා උප පොලිස් පරීක්ෂකවරයෙක් බව දුටුවේ එවිටය.

‘මහත්තයා කොහෙද යමින් හිටියේ..‘ මා පිළිතුරු දෙන්නට තීරණය කලෙමි.

‘එස්.අයි මහත්තයා..මම ගෙදරින් එළියට බැහැලා යමින් හිටියේ. ඇත්තම කිව්වොත් හිතට නිවනක් ලැබෙනකල් ඔළුව හැරෙන පැත්තකට යමින් හිටියේ..ඒ අතරෙයි මාව එක්කගෙන ආවේ..‘

නිලදරුවා පුටුවේ මදක් පසුපසට වී මා තවත් කියන්නාවූ දෙයක් ශ්‍රවණය කරන්නට මෙන් සූදානම් විය.

‘තියන තියන අඩියක් ගානේ සහනයක් දැනුනා..දකින දකින ගහක්කොලක්මලක් ගානේ හිතට නිදහසක් දැනුනා..කාර් එකේ කළුපාට කණ්ණාඩියෙන් ලක්ෂ වාරයක් දැකලා තිබුනු ගස් වැල් අද ඊට වඩා හෘදයාංගමව දැනුනා..ඒ නිසයි ගමන දුර වුණේ..‘

තත්පර කීපයක් මා දෙස බලාසිටි නිලදරුවා සිහින් සිනාවක් පලකර යමක් කියන්නට සූදානම් විය.

‘සමහර වෙලාවට මටත් ඔහොම්ම හිතෙනවා..හිතෙනවා විතරක් නෙවෙයි ටිකක් එළියට බැහැලා යනවත් එක්ක..ඒත් ලඟම තියන කඩයක් ලඟට හරි රෙස්ට් හවුස් එකක් ලඟට හරි විතරයි..මේ මූණත් තහඩුව අඳුනන අය වැඩි නිසා..‘

මොහොතකට වචන නතරකර නිලදරුවා හිස දෙපසට වැනීය. එහි අරුථ කුමක්දැයි මා හට සිතාගනු බැරිවිය.

‘දුමක් හරි සැර ජාතියක් හරි ඇඟට වැටිලා හැරිලා ආයෙත් එනවා..එච්චරයි..‘

නිලදරුවා කෙටි සුසුමක් හෙලා වචන පෙල අගට විරාම ලකුණ තැබීය. පොත වසා දැමූ ඔහු මා අමතන්න විය.

‘මහත්තයා ගෙදර යන්න දැන්..මතක් කරලා ගෙදරටම යන්න..හොඳද‘
නිලදරුවා අසුනින් නැගිටින්නට විය. මමද අසුනින් නැගිටිද්දි පාදවල සියුම් වේදානාවක් දැනෙන්නට විය. කාලෙකින් ඇවිද්ද පය ප්‍රතිඵලදායකය. මා නැගිටිද්දී පැමිණිලිකරු කලබලයෙන් නිලදරුවා අසලට පැමිණියේය.

‘සර්..ප්‍රශ්න කලාද..ත්‍රස්තවාදියෙක්ද?‘

පොත් සහ ලිපිගොනු කීපයක් එක්රැස් කරමින් සිටි නිලදරුවා හිස දෙපසට කර එසේ නොවන වග පසක් කලහ.

‘ඒ වුණාට සර් මහ වැස්සේ තෙමි තෙමි හෙමින් අඩිය තියලා යනවා මම හොඳටම බලාගෙන හිටියා..අර මහ වැස්සේ කවුරුත් දුවද්දි එහෙම යන එක සැක නැද්ද සර්..‘

පැමිණිලිකරු තවමත් සාක්ෂි ගොනු කිරීමේය. නිලදරුවා පොත් සහ ලිපිගොනු කිහිපය එක් අතකට හිරකරගෙන හිස්වැස්ම පැලඳගත්තේය. පුටුව පසෙකට කර යන්නට සැරසෙද්දී පැමිණිලිකරු වෙතට ලංවිය.

‘අයිසේ..තෙමෙන්න ඕන මනුස්සයෙක් වහිද්දි දුවන්නේ නෑ..‘

පවසා යන්නට පිටත් විය. ඒ ගමන අතර මග යමක් මතක් වී නැවත නතර වී වටපිට බලන්නට විය.

‘මහත්තයට යන්න විදිහක් නැතිව ඇතිනේ..අයිසේ ජයසුන්දර..මෙන්න මේ මහත්තයාගෙන ගෙදර තියන තැන අහලා ගෙදර ලඟින් බස්සනවා..‘

ජයසුන්දර සැලියුට් එකක් ගසා එසේ කරන බවට පොරොන්දු විය.

‘මේ..ජයසුන්දර..ගෙදර ලඟින් බස්සන්න එපා..ගෙදරට කිලෝමීටරයක් විතර මෙහායින් බස්සලා එනවා‘

හඬ මදක් බාල කර එසේ කියා ඔහු ගොඩනැගිල්ල තුලට වැද නොපෙනී ගියේය.

https://apeisawwa.blogspot.com/2019/05/blog-post_6.html?m=1

Nihal Ananda

unread,
Nov 15, 2023, 2:31:50 AM11/15/23
to ind...@googlegroups.com
" සැකකාරයා ......."

කතාව පටන් ගන්න විදිය , හොඳයි. කියවාගෙන යන්නට කුතුහලයක් ඇති වෙනවා. 
ඒත් ..... "ඇවිදගෙන යාම" , කතාකාරයාගේ හැඟීම්  ගැන විස්තර ටිකක් බෝරිං .
ලියන භාෂාව ත් , නොගැලපෙන සුළුයි.  පරිචයක් නැති බවක් පෙනේ. 
සිද්ධිය , අවසානය .....interesting .
"ගෙදරට කිලෝමීටරයක් විතර මෙහායින්   බස්සලා එනවා ...... "  - ටොප්ස්  කියමනක්. !

Nissanka Rajapaksa

unread,
Nov 15, 2023, 6:49:44 PM11/15/23
to INDRAKA group
14

සංසාර චක්‍රයේ කෙළවර

- ජානක ගුණතිලක

කුඹුක් ගසේ විශාල මුලක දෙබලේ කහ-තැඹිලි පැහැති තුවායෙන් එතු කමිසය, කොට කලිසම සහ ජංගම දුරකථනය තබා රබර් සෙරෙප්පු දෙක ගං ඉවුරේ  ගලවා දමා දුමින්ද සීතල වතුරට සීරුවෙන් පය තබයි. සෙමෙන් ගලා යන ජල කඳ දෙසට යනවිට  රොන්මඩ දියසෙවෙල රහිත ගං පතුලේ පිරිසිදු වැලි නග්න දෙපතුල් කිති කවයි. පහුගිය දින කිහිපයේ තිබු වර්ෂාව හේතුවෙන්  රොන්මඩ සහ රොඩුබොඩු   ගසා ගෙන ගොසිනි. දෙපස තැනින් තැන ඇති කුඹුක් ගස්වල විශාල අතුවලින් ගඟ වසා ගෙන තිබේ. සන්තතිකව ඒවා අතර වැවී ඇති කහ උණ සහ බට පඳුරු ගඟ දෙසට නැමී  ඇත. ඒවායේ අතු කෙළවර දිගට දිගේ එල්ලෙන අලංකාර වඩු කුරුළු කූඩු වෙසක් පොහොයට එල්ලූ කූඩු  සේ සුළඟට ඒ මේ අත සෙලවේ. හිරු ඈත කඳු පන්තියට මුවා වීමට ඇත්තේ  තවත් පැය  එක හමාරක් පමණ වන්නට ඇති බැවින් ද සිහිල් සුළං හේතුවෙන් ද එකවරම දියේ ගිලීමට තරම්  දුමින්දගේ ඇඟ උණුසුම් නැත. ජලයේ ගැඹුර ඔහුගේ කොට කලිසමේ ඉහල ඉලාස්ටික් වාටියෙන්  කෙළවර වේ. පියවි ඇසට නොපෙනෙන තරමේ ආනතියකින් ජලය ගලා බසී. ගලන සීතල වතුර අත් වලින් ඇඟේ තවරා ගනිමින් ගඟ ඉහලට ටික දුරක් ඔහු පියමං කරන්නේ කිසිදු අරමුණක් ඇතිව නොවේ. මෙසේ සෙමෙන් ගමන් කරනවිට කවුරුන් හෝ කොඳුරන හඬක්  ඇසෙන්නේ කුමන දිශාවෙන්දැයි ඔහු  විමසිලිමත් වූවේය. වන සතුන් ගඟට බැසීමට බට පඳුරු දෙබෑ කර ඒවා අතරින් සාදාගත් උමං මාර්ග ගඟ දෙපස සෑම අඩි දහය දොළහකටම හමුවේ. බට පඳුරු වලින් අහස වැසී ගිය එවැනි ගඟ දෙසට දිවෙන එබඳු ආවරණය වූ ස්ථානයක සෝදා අවසන් කළ රෙදි පොදියකි. ඊට ආසන්නයේ කුඹුක් මුලක් උඩ වාඩි වී දුමින්ද නොදන්නා තරුණයෙකු සමග තුරුළු වී පෙම්බස් දොඩන්නේ හිරුනිකා අක්කාය. ඇයට පෙම්වතුන් කොපමණ සිටීදැයි දුමින්දට ඇත්තේ මහත් ප්‍රහේලිකාවකි. දුමින්ද එසැණින් දියේ ගිලී  නොපෙනී යන්නේ ඔවුන්ගේ ඇස ගැටීමට පෙරය-මතුවූයේ ඔහුගේ ඇඳුම් පොදිය තිබු ස්ථානය සමීපයෙනි.

වෙල් යායේ සියලු කුඹුරු වල ගොයම් මඩවා බැත ගෙවල් වලට ගෙන ගොස් ඇති බැවින් ගැමියන් වෙල්යායට පැමිණෙන්නේ කලාතුරකිනි. සෑම නිවසකටම පාහේ නල ජලය ඇති බැවින් දිය නෑමට ගඟට එන ගැමියෙක් කලාතුරකින් දැකගත හැකිය. කුඹුරු දෙකක් මැදින් ඇති නියරක් දිගේ ටික දුරක් ගමන්කර  කුඹුරු වලට ජලය සපයන දැනට සිඳී ගොස් ඇති ඇලෙහි  ගැට්ටට නැගගත් දුමින්ද ටික දුරක් ඇවිද යන විට තවත් නියරක් දිගේ පැමිණ රතු පැහැති කුඩා මල් ඇති ගවූමට උඩින් විශාල කහ පැහැති මල් වලින් හැඩ  දමන ලද කොළ පැහැති චීත්තයක් ද ඇඳගෙන වතුර බේරෙන කොණ්ඩයේ තුවායක් පටලවාගෙන හිරුනිකා  අක්කා ද ඇලට ගොඩවිය. දුමින්ද හැරී  පහල ගඟ දෙස බැලුවද ඒ දෙපස ලඳු කැළෑව සහ හිස් කුඹුරුයාය  මිස කිසිවක් නොවිය.

" අද වතුර සීතලයි නේද මල්ලී ? "

"ඔව් අක්කේ "

"මට නං හෙට දහම් පාසලට එන්න වෙන්නේ නෑ, මම ලොකු හාමුදුරුවන්ට කෝල් එකක් දීල කියන්නම් " කියාගෙන ඇය ඔහුට  ඉදිරියෙන් ඉක්මන් ගමනින් නොපෙනී ගියාය. ඔහු ඇය  නොපෙනී යන තුරු නිසොල්මන්ව බලාගෙන සිටියේ ඇල  කන්ඩියේ සිට වූ ගල් පිළිමයක් සේය.

හිරුනිකාගේ අවිවාහක වැඩිමහල් සහෝදරයා හමුදා සේවයේය; පියා වසර කිහිපයකට පෙර මිය ගියේය; මවට අවුරුදු පනස් ගණනක් වුවද කායිකව මෙන්ම මානසිකවද  ඉතා දුර්වල තැනැත්තියක් වුවාය. ඇය නිවසින් බැහැරට යන්නේ සතියකට වතාවක් හඳුන්ගම රෝහලේ සායනයටය.

දුමින්ද පන්සලට ලඟා වන විට  මිනිසුන් එහි ගෙනත් දමා ගොස් සිටි සුනඛයන් හතර දෙනාද, පැටවුන්   දෙදෙනාද, බළලුන්  දෙදෙනාද සමග මාස  දෙකකට ඉහත පැවිදි වූ පොඩි හමුදුරුවෝ ද ඇබිත්තයන් දෙදෙනා ද මිදුලේ තණකොළ පිට්ටනියේ කරණම් ගසන්නේ ලොකු හාමුදුරුවන් පන්සලේ නැති නිසා බව දුමින්ද හොඳින්ම දනී.

"පොඩි හාමුදුරුවෝ, මේ දෙන්නත් එක්ක විහාරේට ගිහිල්ලා බුදුන් වැඳලා එන්න ලොකු හාමුදුරුවෝ එන්න ඉස්සෙල්ල"

"මල් ටිකක් කඩා ගනිල්ල අර මල් පාත්තියෙන්" නැවතත් ඔහු කිවේ තණකොළ ගොඩේ උඩු බැලි අතට නිදා සිටින වයස අවුරුදු දහයේ සහ දොළහේ කොලුගැටයන්  දෙදෙනාටය. බලු පැටවු දෙදෙනා ඔවුන්ගේ කලිසම් සහ කමිස වල කෙළවරවල්වලින් අදිමින් සෙල්ලම් කරති.

දහවල් දානයෙන් ඉතිරි වූ ව්‍යංජන සහ බත් රාත්‍රියට ඇති තරම් තිබෙන බැවින් නැවත කෑම පිසින්නට උවමනාවක් නැත. ලොකු හාමුදුරුවන්ට වෙනමම කෑම බෙදා එය වෙනකොට තබා දුමින්ද ඔහුගේ කාමරයට යන්නේ හෙට හවස ඇති ඉංග්‍රීසි පන්තියේ ගෙදර වැඩ ටික අවසන් කිරීමටය. දුමින්දගේ කාමරය ඉතා පිළිවෙලට සකස් කරගෙන තිබේ, එය පොඩි හාමුදුරුවන්ගේ කාමරයට යාබද කාමරයයි. පාඩම් කරන කාලයේදී බිත්තියේ ඇලවූ රූපසටහන්, සමීකරණ තවමත් ඒ ආකාරයෙන්ම තිබේ. බිත්තියට අලුතින් එකතු වී ඇත්තේ  කුඩා කළු ලෑල්ලකි; එහි දිනපතා ඉංග්‍රීසි වචන ලියා තබා ඒවාගේ අකුරු පාඩම් කරයි. මිට අමතරව ඇත්තේ කුඩා ඇඳක්, මේසයක් සහ අල්මාරියකි.

දුමින්දගේ මේ දින වල ව්‍යායාමය  ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගැනීමටය. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල තව මාසයක් ඇතුලත නිකුත්වීම අනිවාර්යය. තමන් සරසවි වරම් ලැබීම ගැන  දුමින්දට කිසිදු සැකයක් නොමැත. මෙවර ලකුණක් දෙකක් මදි වුවද තමාට තව දෙවතාවක් ඊට අවස්ථාව ඇති බව දන්නා ඔහු කිසි සේත්ම ආත්ම විශ්වාසය දෙවැනි තැනට තල්ලු කර දැම්මේ නැත. දෙමාපියන් නොමැති දුමින්දගේ සියලු අවශ්‍යතාවයන් සොයා බැලුවේ කරුණාසාර හමුදුරුවෝය. ගමේ කුඹුරු ඉඩම් වලින් භාගයක් පමණ පන්සලට අයිති ඒවා වන බැවින් එම ඉඩම් වල වී අස්වැන්නෙන් අර්ධයක් ද එළවළු කන්නයේ බදු මුදල් ද ලැබෙන බැවින් පන්සලට අගහිඟකම් තිබුනේ නැත. ඉබි යතුරු දමූ ගරාජයේ තිබෙන මෝටර් රථයේ කල්බදු නියමිත කාලයට පෙරම ගෙවා අවසන් කළේද එය  තහවුරු කරමිනි. උන් වහන්සේ පන්සලේ විහාරාධිපති වන අතරම ගමේ පාසැලේ උප විදුහල්පතිද වේ. උන් වහන්සේගේ වයස දුමින්ද හරි හැටි නොදැනගත්තද අවුරුදු හතළිහක පමණ පෙනුමකින් යුක්තය.

මෙහි ඇති තරම් කාමර මෙන්ම ඇඳන් තිබුනද ඇබිත්තයන් දෙදෙනාට නිදා ගන්නට ඇත්තේ පොඩි හාමුදුරුවන්ගේ කාමරයේ බිමට දැමු මෙට්ටයකි. රාත්‍රී දහයට පමණ ආවාස ගෙයි සියලු දොරවල් හොඳින් වසා  ඇත්දැයි පරික්ෂා කර බලා එනවිට පොඩි හාමුදුරුවන් පොතක් කියවයි, ඇබිත්තයන් දෙදෙනා සැප නින්දේය. දුමින්දගේ සැප පහසු සයනයේ වැතිරී විදුලි බුබුල නිවා දැමූ ඔහුට සිහියට එන්නේ විහාරගෙයි බිත්තියේ ඇති නාරිලතා මල්ය. ඒවායේ නාරි රුප  හිරුනිකා අක්කාගේ රූපයෙන් විස්ථාපනය වී තිබිණ. තිබු කොට්ට දෙකෙන් එකක් යටි බඩ සහ කලවා අතරට හිරකරගත් ඔහු හිරුනිකා අක්කාගේ ලෝකයේ තනි විය. ඇයගේ අලංකාර දිගු කෙස් කළඹ සිනාසෙන විට වල ගැසෙන රෝස පැහැති කම්මුල් ආදී සියල්ල ඔහු ස්පර්ශ කරන්නට විය. 

නවීකරණය කරන ලද ආවාස ගෙයි මැද මිදුලකි; මෙය මල්ගස් වවා අලංකාර කර ඇත. කරුණාසාර හාමුදුරුවෝ අමුත්තන් මුණගැසෙන ඉදිරිපස ශාලාවේ විශාල මාළු ටැංකියකි, මෙය විසිතුරු මසුන්ගෙන් පුරවා තිබේ. එය නඩත්තු කරන්නේ කරුණාසාර හාමුදුරුවන් විසිනි. අවාස ගෙහි  මිදුල කෙලවර වන්නේ ධර්ම ශාලාව, බෝ මලුව සහ විහාර ගෙය වටා ඇති ප්‍රාකාර බැම්මෙනි. මෙම බැම්මෙන් ඇතුලත බිම සම්පුර්ණයෙන්ම සුදු වැලි අතුරා ඇත. සියලු ගොඩනැගිලි පිහිටා ඇත්තේ එකම මට්ටමේය, එය තරමක් උස් භූමි භාගයකි. ඉරිදා උදෑසන දහම් පාසලේ පන්ති බොහොමයක් පවත්වන්නේ මෙම වැලි මළුවේය. හිරුනිකා අක්කා 'හතර ශ්‍රේණිය'  පන්තිය භාරව කටයුතු කරයි. ඇය උසස් පෙළ විභාගය හොඳින් සමත් නොවුනද අවුරුදු කිහිපයක්ම නොකඩවා දහම්පාසල් ගුරුවරියක් ලෙස කටයුතු කරන්නීය.

"අද හිරුනිකා ටීචර් එන්නේ නෑ කිව්වා, කුමාරි ටීචට කියන්න හතර පහ පන්ති දෙකම එකතු කරලා උගන්නන්න කියල " ලොකු හාමුදුරුවෝ දුමින්දට කතා කොට පැවසීය.

"හොඳමයි හාමුදුරුවනේ " කියා දුමින්ද ධර්ම ශාලාවට ගොඩ වුයේ වැලි මළුවේ ඈත කෙලවරේ සිටි පාසල් සේවයෙන් විශ්‍රමගිය කුමාරි ගුරුතුමිය ලඟට ගොස්  පණිවිඩය ද කීමෙන් පසුවය.

දුමින්දට භාරව තිබුණේ දහම් පාසලේ ඉහලම පන්තිය වන දහය ශ්‍රේණියේ පන්ති භාරකාරත්වයත්, නමය සහ දහය ශ්‍රේණිවලට අභිධර්මය ඉගැන්වීමටත්ය. මෙම එක පන්තියක  සිටින්නේ සිසුන් දහයක් පමණය, ඔවුන්ගෙන් බහුතරය තරුණ ගැහැණු ළමුන් වීම පිළිබඳව දුමින්දට ඇත්තේ කිසිවෙකුටත් නොපවසන සතුටකි. පාසැල් සුදු ගවුමට වැසී ඇති තරුණියන්ගේ බොහෝ ශරීරාංග  දහම් පාසැල් නිල ඇඳුමේදී නිරාවරණය වී තිබීම ඔහුට ශෘංගාරාත්මක හැඟීමක් ඇති කරයි; මෙය අභිධර්මය වඩාත් ගැඹුරට ඉගැන්වීමට ඇති උනන්දුව වැඩි කිරීමට හේතු වී ඇතිදැයි දුමින්දට ද  ගැටලුවකි.

බොහෝ දිනවල සවස පන්සලේ සිටින්නේ දුමින්ද සහ ලොකු හාමුදුරුවන් පමණි, ඒ පොඩි හාමුදුරුවන් සහ කොලු ගැටයින් දෙදෙනා පිරිවෙණට යන බැවිණි. දුමින්ද සවස තුනට තිබූ ඉංග්‍රීසි පන්තියට පිටත්ව ගියද එදින ගුරුවරයා හදිස්සියේ  එය අවලංගු කර තිබු බැවින් සැලසුම් කළ වෙලාවට කලින් පන්සලට නැවත පැමිණීමට සිදුවිය. අවාස ගෙයි ප්‍රධාන දොරටුව වසා  තිබු බැවින් පසුපස දොරින් දුමින්ද ඇතුළු වන විට දොර බිත්තියේ වැදී තරමක හඬක් නිකුත් විය. ඒ සමගම කරුණාසාර හාමුදුරුවන්ගේ කාමරයෙන් එලියට දිව ආවේ හිරුනිකා අක්කාය. ඇය දුමින්දට වචනයක් වත් කතා කලේ නැත. ඔහු පසු කරගෙන වේගවත් ගමනින් විවෘත කර තිබු දොරින් පිටව ගියාය.

මෙම සිද්ධියෙන් පසුව ඇය සති කිහිපයක් දහම් පාසැලට පැමිණියේ  නැත. එක්තරා  පොහොය දිනක සවස බෝධි පුජාව අවසන් වුයේ රාත්‍රී හතට පමණය, විහාර මළුවේ විදුලි පහන් නිවා දැමීමට දුමින්ද හෙමින් සීරුවේ ධර්ම ශාලාව පසු කර යනවිට විනාඩි විස්සක් පමණ ගතවී තිබිණ.

"මට දැන් මැරෙනවා ඇරන්න කරන්න දෙයක් නෑ"

ඒ හිරුනිකාගේ කටහඬ බව දුමින්ද එකවර හඳුනා ගත්තේ, ඒ සමීපයේ විශාල ස්ථම්භයට මුවා වුයේ කරුණාසාර හාමුදුරුවන් බවද ඔහු දුටුවේය, නමුත් කිසිවක්  නොදැක්කා  සේ ඔහු මළුවේ කෙලවරට ගොස් එහි සිට විදුලි බුබුළු එකිනෙක වෙනදාටත් වඩා  සෙමෙන් නිවා දමමින් පැමිණෙන විට කිසිවෙකු පෙනෙන්නට සිටියේ නැත.

මෙම සිද්ධියෙන් පසුව කරුණාසාර හාමුදුරුවන්ගේ දින චර්යාව සම්පුර්ණයෙන්ම උඩුයටිකුරු  වී ඇති බව දුමින්දට වටහා ගැනීමට සාක්ෂි උවමනා තරම් විය. පාසැල ඇරී පන්සලට පැමිණෙන උන්වහන්සේ කාමරයෙන් එලියට පැමිණෙන්නේද කලාතුරකිනි. දින ගණනකින් කොලු ගැටයන් දෙදෙනාගෙන් සවස ගාථා පාඩම් ගන්නවා දුමින්දට ඇසුනේ නැත. සවසට අඳුර වැටෙන තුරු මිදුලේ සිමෙන්ති බංකුවට වී සති අන්ත  පුවත්පතක් හෝ පොතක් කියවන පුරුද්ද ද දැන් මග හැරී ගොසිණි. දායකයෙකු සමග  පිංකමක් පිලිබඳ සාකච්චා කරගැනීමට පැමිණියද එය අවසන් වූ වහාම වහාම කාමරයට ගොස් දොර වසා ගත්තේය.

මෙසේ දිනපතා කැලැන්ඩරයේ කොළ එකිනෙක ගැලවී ගොස් එක් සෙනසුරාදා දිනක වෘතියෙන් හෙදියක් වන කරුණාසාර හාමුදුරුවන්ගේ ඥාති සහෝදරියක් පන්සලට පැමිණියාය. තලතුනා ඇය ශ්‍රියානි නම් විය. ශ්‍රියානි මාස  කිහිපයකට වරක් පන්සලට පැමිණෙන්නේ රස කැවිලි මෙන්ම පලතුරු ද මල්ලක පුරවාගෙනය.

"ආ, දුමින්ද කෝ අපේ හාමුදුරුවෝ? "

"කාමරයේ ඉන්නවා නෝනා"

කාමරයට ගිය ඇය  නැවත එලියට පැමිණියේ පැයකට පමණ පසුය, ඔවුන්  තීරණාත්මක ස්වරයෙන් යම් බරපතල ප්‍රශ්නයකට විසඳුම් සොයන්නට වෙහෙසෙන බව නම් දුමින්දට කිසිදු සැකයකින් තොරව ඔප්පු වී හමාරය. ඔහු කාමරය ආසන්නයෙන් කිහිප විටක් ගමන් කළ ද කතා කරනවා මිස කුමක් කතා කරන්නේ දැයි හඳුනා ගැනීමට නොහැකි විය. කාමරයෙන් එලියට පැමිණි ඇය දුමින්ද දෙස පිළිකුල් බැල්මක් හෙලා මිඳුලේ ඇති බැංකුවේ වාඩි වී  ජංගම දුරකතනයෙන් කතා  කරන්නට විය. ටික වෙලාවකින් කරුණාසාර හාමුදුරුවෝ මිදුලට පැමිණියේය.

"මම වෙලාවක් කියල කෝල් එකක් දෙන්නම්" කියා ඇය  උන් වහන්සේට වැඳ පිටත්ව ගියාය.

රාත්‍රී කෑමෙන් පසුව දුමින්ද පොතක් කියවමින් සිටියදී පොඩි හාමුදුරුවන් පැමිණ,

"දුමින්ද අය්යට ලොකු හාමුදුරුවෝ කතා කරනවා" කිවේය.

දුමින්ද කරුණාසාර හිමියන්ගේ කාමරයට ඇතුළු වූ පසුව හාමුදුරුවන් විසින්ම කාමරයේ දොර වසා ලියන මේසයේ පුටුවේ හිඳ ගත්තේය. දුමින්ද මේසය ආසන්නයේ සිටගෙන සිටියි.

"මම උඹට කරන්න පුළුවන් හැම උදව්වක්ම කරලා තියෙනවා දුමින්ද, මට පුළුවන් විදිහට මම උඹට හොඳට ඉගැන්නුවා අම්මා තාත්ත  නැතුව හිටපු උඹට අනාතයෙක් වෙන්නේ නැති තරමට මම ඉන්ඩ හිටින්න දුන්නා"

කරුණාසාර හාමුදුරුවෝ කතාව නතර කර දිගු සුසුමක් හෙලයි. දුමින්ද නිසොල්මන්ව  මේසය දෙස බලාගෙන එය මත තබා ඇති අලංකාර පිට කවරයකින් යුත් පන්සිය පනස් ජාතක කතා පොත දෙස බලා  සිටින්නේය.

"මේක මගේ නරක කාලයක්, මට උඹෙන් උදව්වක් ඕනි හැබැයි කිසි කෙනෙක් එක්ක මේ ගැන කතා කරන්න බෑ  " කරුණාසාර  හාමුදුරුවෝ දිගටම කියාගෙන යයි, එය ඉල්ලීමක්ද තර්ජනයක්ද කියා වෙන් කර ගැනීමට දුමින්දට අපහසුය, ඒ සමගම අල්මාරියේ දොර ඇර එයින් සල්ලි මිටියක් එලියට ගනී.

"හෙට උදේ දහයට ජනතා ෆාමසි එක ලඟට යන්න ඕනි " කියා සල්ලි මිටිය දුමින්ද අත තැබීය.

ඔහු කිසිවක් නොකියාම කාමරයෙන් පිටවිය. තම කාමරයට පැමිණ සල්ලි මිටිය මේසයේ ලාච්චුවට දමා සිදු වන්නේ කුමක්දැයි සිතා ගැනීමට උත්සහා කළේය. ඇඳේ හාන්සි වී දෑස පියා ගත් විට  විහාර ගෙයි බිත්තියේ ඇති නාරිලතා මල් සහ  යක්ෂ රුප, උසස් පෙළ ප්‍රතිඵල ලේඛණ, සල්ලි මිටි ආදී එකිනෙකට කිසිදු සම්බන්ධයක් නොමැති  විකාර රූපි සිහින පෙනෙන්නට ගනී.

දුමින්ද පසුදින උදේ නමයට පමණ සුදානම් වී සල්ලි මිටියද සාක්කුවේ දමාගෙන බස් නැවතුමට එන විට එහි හිරුනිකාද විය. ඇය ඔහුට සිනාසුන නමුත් කතා කළේවත් සමීපයට පැමිණියේවත් නැත. බස් රථය විනාඩි හතලිස් පහක පමණ ගමනින් පසුව හඳුන්ගම නගරයට ලඟා විය.

"ෆාමසිය ළඟ කරුණාසාර හාමුදුරුවන්ගේ අක්කා ඉන්නවා කිව්වා- මල්ලිත් එක්ක එයාව මුණ ගැහෙන්න කිව්වා " යයි හිරුනිකා කිවේ බසයෙන් බැසගන්නවාත් සමගය.

දෙදෙනා එහි යන විට ඊයේ පන්සලට පැමිණි කරුණාසාර හාමුදුරුවන්ගේ සහෝදරිය ශ්‍රියානි ෆාමසිය ඉදිරියේ සිටගෙන බලාගෙන සිටින්නීය. මෙය ෆාමසියක් ලෙස නමට තිබුනද තට්ටු තුනක් පුරා පවත්වාගෙන යන ප්‍රසිද්ධ චැනල් සෙන්ටර් එකකි. 

ඇය කීවේ "යමු" කියන වචනය පමණි, දුමින්දත් හිරුනිකාත් ඇය පිටුපසින් ගොස් ඇතුළත රෝගීන් ලියා පදිංචි කරණ කාමරයට ඇතුළු වූහ.

"කව්ද ඩොක්ට" අසන්නේ කවුන්ටරයේ සිටින කාන්තාවය.

" ඩොක්ට අතුල ද සිල්වා " පිළිතුරු දෙන්නේ ශ්‍රියානිය.

" ලෙඩාගේ නම "

"හිරුනිකා කුමාරි අත්තනායක"

"භාර කාරයා "

"දුමින්ද " කියා පිළිතුරු දෙන්නී ශ්‍රියානිය.

"අයිඩින්ටි කාර්ඩ් එක දෙන්න" දුමින්ද සාක්කුවෙන් එලියට ගන්නා හැඳුනුම්පත මේසය මත තබයි.

"මෙතනින් අත්සන් කරන්න "

"රුපියල් පාලොස්දාහයි " ඔහු අත්සන් කරන අතර තුර සේවිකාව පැවසීය.

දුමින්ද සාක්කුවෙන් එලියට ගන්නා සල්ලි මිටියෙන් එය ගෙවා දැමූ විට,

"තුන්වෙනි තට්ටුවේ කාමර අංක අටට යන්න" කියා මුදල් ගෙවූ තුන්දුව ලබාදී හිරුනිකාට පසු පසින් සිටි අනෙක් තරුණියට ඉදිරියට කතා කළාය.

තරප්පු පේලි දෙකක් නැග ගෙන ගොස් වීදුරු දොර විවර කරගෙන අංක අට කාමරයට මුලින්ම පිවිසෙන්නී ශ්‍රියානිය.

"ආ ශ්‍රියානි මෙයා ගැනද කිව්වේ?" මේසය සමග ඇති පුටුවේ වාඩි වී සිටින ප්‍රියමනාප තරුණ දොස්තර අසන්නේ හිරුනිකාට ඔහු ආසන්නයේ ඇති පුටුව පෙන්වමිණි.

"ඔව් ඩොක්ට"

"මාස කීයද ?"

"තුනක් විතර" හිරුනිකා පිළිතුරු දෙයි,

"බය වෙන්න දෙයක් නෑ ඇතුළට යමු" හිරුනිකා ශ්‍රියානි  සහ දොස්තර  තිරයෙන් ඇතුළට ගමන් කළහ.

දුමින්ද කාමරයෙන් පිටතට පැමිණ කොරිඩෝවේ සිට නගරයේ එහා මෙහා ගමන් කරන වාහන සහ මිනිසුන් දෙස බලමින් පැයකට වඩා එහි ගත කරන්නට ඇත.

අවසානයේ ශ්‍රියානි හිරුනිකා ද සමග පිටතට පැමිණියාය. හිරුනිකා ඉතා අපහසුවෙන් තරප්පු පෙළ බැසගෙන ශ්‍රියානි සමග වීදියට පිවිසෙන විට, දී තිබු බෙහෙත් තුන්දුවේ බෙහෙත් ටික මිලදී ගැනීමට  දුමින්ද ප්‍රමාද විය. ඔහු පිටතට පැමිණෙන විට කාන්තාවන් දෙදෙනා ත්‍රීරෝද රථයකට ගොඩවී සිටියහ. පැය භාගයකට ආසන්න ගමනේදී කිසිවෙක් කතා නොකළහ. මිලදී ගත්  බෙහෙත් දුමින්ද හිරුනිකාගේ අත්  බෑගයට දැමුවේය.

ත්‍රී රෝද රථය හිරුනිකාගේ නිවස ළඟ නතර කර ශ්‍රියානි ඇයව නිවසට ඇරලුවාය. රථය සහ නිවස අතර අඩි සියයක පමණ දුරක් විය. ශ්‍රියානි නැවත පැමිණෙන විට දුමින්ද සිටියේ ත්‍රී රෝද රථයට මදක් ඈතිණි. ඔහු සමීපයට පැමිණි ශ්‍රියානි,

"උඹට අපේ හාමුදුරුවෝ සැළකුවා වැඩි වුනා, අම්මා තාත්තා නැතුව මැරෙන්න යනකොට අපේ පවුලේ එකෙක් කියල හිතල හාමුදුරුවෝ උඹට සැලකුවේ. යන්තන් පණ ගහල එනකොට පටන් ගත්තා දඩාවතේ යන ගෑණු පස්සේ යන්න, එක්කෝ උඹට යන්න වෙන්නේ හිරේ, එහෙම නැත්තන් කසාදයක් බැඳගෙන මේ ගෙදර බින්න බහින්න වෙන්නෙ. උඹ  මෙහෙම අසමජ්ජාති වැඩ කරනකොට  කොහොමද යකෝ අපේ හාමුදුරුවෝ සිවුරක් ඇඳගෙන පාරේ බැහැල යන්නේ? තුක් විතරක් තෝ වගේ කලකන්නියෙක් , මම අපේ හාමුදුරුවන්ගේ වචනෙට ආවා මිසක්"  තරහින් පුපුරමින් සිටි ඇයට තවත් කතා කරගත නොහැකි වූ විට ත්‍රී රෝද රථයට ගොඩ වුවාය. දුමින්ද කිසිවක් අදහා ගත  නොහැකිව ත්‍රී රෝද රථය ගමන් කරන දෙස ඇසි පිය නොහෙලා බලාගෙන සිටියේය.



Nihal Ananda

unread,
Nov 16, 2023, 2:20:06 AM11/16/23
to ind...@googlegroups.com
සංසාර චක්‍රයේ .....

කතාවක් ගොඩ නගා  තිබේ ....... !
පන්සලේ චරිත , හැසිරීම බෙහෙවින්  සම්ප්‍රදානුකුලය. 
එසේ වුවත්කි, යවාගෙන යා හැකිය. කුතුහලයක් ද ඇති වේ. 
එය කෙටි කතාවක් ද ?........... ප්‍රශ්නයකි. 

Nissanka Rajapaksa

unread,
Nov 16, 2023, 8:29:58 PM11/16/23
to INDRAKA group
15

අපගමනය 


- ජානක ගුණතිලක


දැල්වෙන  හඳුන් කූරේ ඳුම ඉහලට ඇදී යන්නේ, වතුරට දැමු මදක් විශාල කොන්ඩිස්  කැටයක් බිකරයේ පතුලේ ගැටෙන තුරු සටහන් කරන අලංකාර  රටාව මෙන් රටාවක් ප්‍රතිවිරුද්ධ දිශාවට සටසන්  කරමිනි.  පෙර දින රාත්‍රියේ මහ වර්ෂාවෙන් පසුව ජලවාෂ්ප වලින් සංතෘප්ත වී ඇති වායු ගෝලය ඔවූන්  කතා කරන විට මුවින් පිටවන ප්‍රස්වාශ වාතයේ ජල වාෂ්පද  ඝනීභවනය කර දුම් ගුලි සේ අවකාශයට මුදා හරී. ත්‍රී  වීලරයේ   හැඩලයේ  කෙලවර රඳවා  තිබෙන හඳුන්කුරු දෙකෙන් බිමට හැලෙන අළු, කළු පැහැති රබර් පාපිස්නාවට  පතිත වේ. දැල්වී අවසන් වීමට මත්තෙන් රුෂාන්ත ඒවා ගලවා ත්‍රී  විලරයේ ඉදිරිපස රෝදය ආසන්නයේ ඇති කහ පාට  ඉරෙන් එහා ඇති පාරට විසිකරයි. තිස්ස අය්යා ඒ ආසන්නයේ නතර කර ඇති තම කොළ පාට ත්‍රී  විලරයේ වින්ඩ්ස්ක්රිනයට හේත්තු වී සිටින්නේ මේ සීතලෙන් ගැලවීමට උණුසුම් හිරු රැස් වැටෙන්නේ කොයි මොහොතේදැයි බලා සිටින්නාක් මෙනි. ඔහුගේ දුඹුරු පැහැති කබායේ අත් වල කෙලවරින් එලියට එන ඔහුගේම අත්  දෙක කලිසම් සාක්කුවේ සඟවාගෙන සිටින්නේ හමුදාවෙන් එල්ල වන මල්ටි බැරල් ප්‍රහාර වලින් ආරක්ෂා වීමට බංකර් තුල සැඟවෙන කොටි පැටවුන් සිහි ගන්වමිනි.

"තිස්ස අය්යා සිගරට් පාරක් ගහමුද?" යයි අසන්නේ රුෂාන්ත  R  අකුර තෙක් උරා අවසන් වූ ගෝල්ඩ් ලීෆ් එක තිස්ස අය්යා වෙත දිගු කරමිනි.

"නෑ  උඹ බීපන් මගේ ළඟ තියෙනවා '

තිස්ස අය්යා කබායේ සාක්කුවෙන් එලියට ගන්නා  රතු  පැහැති ගෝල්ඩ් ලිෆ් පැකට්ටුවෙන් සිගරට්ටුවක් ගෙන දල්වා ගනී.

"තව විනාඩි දහයෙන් 79 ඉන්ටර්සිටිය  එනවා, ඕකෙන්  තමයි අම්මට හිකෙ...ඩ මොනින්  හයර් එක සෙට් වෙන්නේ'  "බුදු සරණයි" කියා ඉදිරිපස වීදුරුවේ අලවා ඇති ස්ටිකරය කළු පැහැති රෙදි කැබැල්ලකින් පිසදාන රුෂාන්ත කියයි. රෙදි කැබැල්ල පසුපස ආසනයට පිටුපස ඉහල විශාල බෆල් දෙක අතර ඇති අවකාශයට ද  සිගරට් කොටය පාරට ද විසිකරයි.

"තාම 6.50 යි, හතයි කාල  වෙනවා 79 එනකොට" කබායෙන් වැසී  ඇති ඔරලෝසුව අනෙක් අතෙන් මතු කර ගෙන තිස්ස අය්යා තවත් දුම් වළල්ලක් ඉහලට මුදා හරි.

ත්‍රී වීලර් දහයක් පමණ නවතා තැබීමට, කාපට්  දමා කහ පැහැති ඉරකින් වෙන් කර ඇති ඉඩෙහි දැනට සිටින්නේ මොහුන් දෙදෙනා පමණි. ඊට මීටර් විසි පහක් පමණ ඈතින්, ඔවුන් සිටින පැත්තේ බස්  නැවතුම් පොළය, ප්‍රති විරුද්ධ පැත්තේ බස් නැවතුම ඔහුන්ට එක එල්ලේ ඉදිරියෙන් වෙයි. මේවා මනංකල්පිත බස් නැවතුම් පොලවල්ය, කිසිදු ආවරණයක් හෝ නාමපුවරුවක් හෝ  එහි නොමැත එහෙත් සියලු දෙනා ඒ බස් නැවතුම් පොළවල් බව දනිති.

සෙනසුරාදා උදෑසන  බැවින් අද සුදු ඇඳ ගත් ළමයින් දක්නට නොමැත, එහෙත් ටියුෂන් පන්ති වලට යාමට පැමිණෙන සිසුන් එකා  දෙන්නා බැගින් බස් නැවතුම වෙත සේන්දු වෙති. ටික වෙලාවකට පෙර බස් නැවතුමට පියා මෝටර් සයිකලයකින් ගෙනත් අරලවූ තරුණිය බස් රථ කිහිපයන් නතර කලද ඉන් එකකට වත් ගොඩ නොවූවාය. තවත් ටික වෙලාවකින් ඔලුවේ ජෙල් තට්ටුවක් උලාගෙන කොණ්ඩය කුරු, කුරු සේ සකසාගෙන පැමිණි, තරුණයෙකු සමග ඇය  පොත් මිටියද තුරුළු කරගෙන බස් රථයකට ගොඩ වුවාය.

"අරක  මරු කඳ  නේද? " කියා රුෂාන්ත  අසන්නේ ත්‍රී  වීලර් නැවතුම් පොළ දෙසට ඈතින් පැමිණෙන  තවත් තරුණියක් ඔලුව හරවා පෙන්වමිණි.ඔවුන් දෙදෙනා නෙත ගැටුණු සැණින් ඇය බිම බලා  ගත්තාය. තවත් ලංවන විට ඇයගේ පිරුණු ලැම  දෙස බලා සිටි රුෂාන්ත ඇය ඔවුන් දෙදෙනා පසු කර යත්ම ඇයගේ තට්ටමට හිර වූ සායෙන් මතුවී පෙනෙන පෑන්ටියේ වාටිය  නොපෙනී යන තුරු බලා  සිටියේය. ඇය  බස් නැවතුමට සමීප වනවාත් සමගම කොළඹින් රාත්‍රියේ පිටත් වූ සුකෝපභෝගී බස් රථය එයට සේන්දු විය.

බසයෙන් බැස ගත් තරුණ යුවලක් රුෂාන්ත  දෙසට පැමිණ,

 " මල්ලි හෙවනකුඹුරට  කීයක් ගන්නවද?" දැයි ඇසුවේ කඩවසම් තරුණයාය. කාන්තාව අත, අත්  බෑගයට අමතරව තවත් මල්ලක් විය,ඇය ද  එක එල්ලේ රුෂාන්ත දෙස බලා හිදී. නාඳුරන කාන්තාවක් එක එල්ලේ දෑස  දෙස බැලු  විට පිරිමින් කොපමණ අපහසු තාවයට පත්වන්නේද?

"හත්සියක් ගන්නවා නෝනා" යයි පිළිතුරු දුන්නේ කාන්තාවටය.

නැවතත් ඔහු ත්‍රී  රෝද රථ ගාලට  පැමිණෙන විට උදේ නමයට  ආසන්නය, පෙරදින රාත්‍රී සේවයේ යෙදී  සිටි පිරිස දැන් සේවයට වාර්තා කොට සිටී. කහ ඉරෙන් වෙන් කර තිබු කොටස පිරෙන්නට ත්‍රි වීල් හයක් නවතා  තිබේ. රුෂාන්ත ද කෙලවරකින් තම රථය නවතා  "ශ්‍රී FM" චැනයල සුසර කර කණ  පැලෙන්නට තරම් රේඩියෝවේ හඬ වැඩි කර එළියට බැස්සේය.

"රුෂාන්ත  අන්න උඹේ කෑල්ල කැම්පස් තේරිලා" එහි සිටි එකෙක් කීය.

"කොයි කෑල්ල ද? බං"

"උඹලගේ පන්තියේ හිටිය නාලිකා බන්"

" ආ  ඒකද? හොඳ වෙලාවට ඕක මෙච්චර කල් නොතිබ්බේ, නැත්තන් මේ ඔක්කොම අත  ඇරලා මටත් වෙන්නේ සතිය ගානේ  කැම්පස් යන්න තමයි "

"අන්න මංජු උඹව හොයනවා "තව එකෙක් තම ත්‍රී වීලරයේ  වේගය අඩු කර ඔහුට කියා යන්නට ගියේය.

කඩ විදියේ මැද හරියට වන්නට මන්ජුගේ තේ කඩය   පිහිටා තිබේ. එය තේ කඩයක් ලෙස පෙනුනද තේ කඩයක්ම නොවේ, තැබෑරුමකි. ඉදිරි පස "මංජු ශ්‍රී හොටෙල්"   කියා මොබිටෙල් සමාගමෙන් දුන් මහේල ජයවර්ධනගේ රුපය සහිත විශාල ප්‍රදර්ශන පුවරුවකි. එහි පහළම තද නිල් පැහැති  තීරුවේ අංක 42/3, නුවරඑළිය පාර , කැප්පෙටිපොල කියා සඳහන්ව ඇත. ඉදිරිපස විශාල විදුරු දොරවල් දෙකෙන් ඇතුළු වූ පසු මේස  හතරක්ද, බිතර රොටි, පැටිස්, රෝල්ස් ආදී කෑම  වර්ග පිරිණු විදුරු අල්මරියක්ද එක්  කෙළවරක අයකැමි මේසයද වේ. මංජු නිතරම සිටින්නේ මේ මේසය සමග ඇති පුටුවේය. කිසිවක් නොදන්නා නගරයට එළවලු රැගෙන එන ගොවීන් තේ එකක් බොන්නට මන්ජුගේ කඩයට පැමිණෙති. සියල්ල දන්නා එදිනෙදා පරිභෝගිකයන් "මංජු සියක හෝ එකසිය පනහක" කියා අදාල මුදල ගෙවා වැසිකිලියට යන ආකාරයට පිටුපස දොරින් එලියට යති. දොර විවෘත වන්නේ අක්කර ගණනක් පැතිරී ඇති ටර්පන්ටයින් කැලැවටය. දොර ආසන්නයේ පිටත කුඩා මේසයක් වේ, එතන සිටින්නේ මන්ජුගේ කඩේ ගෝලයා ය, ඔහු ඩිංගි පාලය. ඩිංගි පාල ගනුදෙනු කරුවන් වෙත ඔහුන් ගෙවූ මුදලට සරිලන ප්‍රමාණයට වීදුරුවට ගල් අරක්කු පෙරා  දෙයි. එක හුස්මට වීදුරුව කටේ හලා  ගන්නා  පිරිස බොහෝය, කලාතුරකින් කෙනෙක් එය දෙපාරකට හෝ තුන් පාරකට කටේ හලා ගනී. බොහොමයක් දෙනා ටර්පන්ටයින් කැලේ මැදින් ඇති අඩිපාර දිගේ ගොස් තවත් කඩ කිහිපයකට එහායින් විදියට පැමිණෙති.

රුෂාන්ත මන්ජුගේ කඩය ඉදිරිපිට ත්‍රී  විලරය නතර කර රේඩියෝවේ හඬ අඩු කරනවාත් සමගම මංජු ඒ අසළට  ලං විය.ඔහු  කිසිවක් නොකියාම සල්ලි මිටියක් රුෂාන්ත  ඇත තැබීය.

"මංජු අය්යා කීයක්ද?"

"විස්සක්"

වෙළඳ පොළ හැසිරීම පිලිබඳ මන්ජුගේ දැනුම කළමනාකරණ උපාධිධාරියෙකුගේ දැනුමට වඩා වැඩිය, කැප්පෙටිපොල ලියාපදිංචි තැබෑරුමක් තිබේ, එහෙත් එහි ගල් අරක්කු නැත. මොනා  බිව්වත් බොන මිනිහාට  ගල් අරක්කු තරම් විස්කි බ්‍රන්ඩිත් හරියන්නේ නැත. එබැවින් මංජු ඉල්ලුමට-සැපයුම වෙළඳ පොළ න්‍යාය හොඳින් ප්‍රගුණකර නුවරඑළියෙන් ගෙනෙන ගල් අරක්කු සිල්ලරට විකිණීමේ ව්‍යාපාරය කරගෙන යන්නේ කලක සිටය. රුෂාන්තට දිනපතා නුවරඑළියට හයර් එකක් වදින්නේද මේ නිසාය.

අලුත්ම Nike  ටී සර්ට් එකක්ද කළු පැහැති  ඩෙනිම් කලිසමක්ද, සුදු පැහැති සපත්තු  දෙකකින්ද සැරසී සුවඳ විලවුන් තවරාගෙන දහවල්  එකට පමණ නැවතක් රුෂාන්ත තම දඬු මොණරය ද රැගෙන ත්‍රී වීල්  පාර්ක් එකට වාර්තා කරයි. ඔහු රථයෙන් බසිනවාත් සමගම ඔහුගේ සගයෙක්

 " ආ  මෙන්න මු බඩුව බලන්න යන්න කුමාරයා  වගේ ඇවිල්ලා  ඉන්නේ" යැයි, කියන විට තවත් අයෙක්

"ඔව් අද සෙනසුරාදනේ"  කීය.

ටික වෙලාවකින් ත්‍රී  රෝද රථයේ දෙපස ආවරණ තිර රෙදි දෙක පහලට දමා සාරාණන්ද පිරිවන දෙසට ඉගිල්ලෙන්නට විය. මග දිගට ටියුෂන් පන්ති හමාර වී යන සහ ආරම්භ වීමට ඇති පන්ති වලට යන තරුණ තරුණියන් ඒ මේ අත උසුළු විසුළු කරමින් ගමන් කරති. තරුණියන්ගේ කණ්ඩායම්, තරුණයින්ගේ කණ්ඩායම්, මිශ්‍ර කණ්ඩායම් මෙන්ම ජෝඩු වලින්ද අඩුවක් නැත. පිරිවෙන ආසන්නයට වන්නට පාර  අයිනේ නවතා ඇති වාහන පෝලිමකි, කුඩා ළමුන් පන්ති වලට ඇරලවන්නට මෙන්ම ඔහුන් නිවෙස්වලට කැඳවාගෙන යාමට පැමිණි දෙමාපියන්  රථවලට වී පුවත් පත් කියමින් හෝ නිදාගෙන කාලය මරති . මේ අතර තම පෙම්වතා සමග මෝටර් සයිකලයක හෝ ත්‍රී  වීලයක  නැගී ක්ෂණයකින් අතුරුදහන් වන තරුණියෝද වෙති.

රුෂාන්ත රථයේ වේගය අඩු කර පිරිවෙනේ ගේට්ටුව පසු කරගෙන යනවිට ඊට ඉදිරියෙන් තම මිතුරියන් සමග සිනා සිසී ගමන් කරන  තරුණියන් කණ්ඩායමකි. ඔවුන් එකිනෙකා පසු පස හොරෙන් බලා එහි කෙලවරින් පාර පැත්තෙන් ගමන් කරන තරුණියට යමක් පවසයි, ඇය කාංචනා  ය. මිතුරියන් සාමාන්‍ය  වේගයෙන්  ඉදිරියට ගමන් කර සෙනග අතරේ සැඟවී යන  අතර ඇය වේගය අඩු කර ඔවුන්ගෙන් වෙන්වේ. ත්‍රි රෝද රථය ලංවූ විට ඇය එයට ගොඩ වුවාය.

"අද නුවරඑළියේ යන්න බෑ  අය්යේ ටිකක් කලින් ගෙදර යන්න ඕනි"

ඔහු කිසිවක් නොකියාම ත්‍රි රෝද රථය හරවා නැවත කැප්පෙටිපොල දෙසට ගමන් ආරම්භ කරයි.

"ඇයි නංගි මොකක් හරි අවුලක්ද?" ඔහු පසු පස හැරි අසයි. ඇය  තරමක් තැති ගත්  ආකාරයකි.

"මම පස්සේ කියන්නම් "

ටික දුරක් ප්‍රධාන මාර්ගය දිගේ ධාවනය වූ රථය ඉන් අතුරු පාරකට හැරවීය. මද වෙලාවකින් එය ටර්පන්ටයින් කැළෑව මැදින් ඇති කුඩා පාරේ ගමන් කරන්නට විය, අඩි  සියගණනක් උස ගස් වලින් අහස සම්පුර්ණයෙන්ම වැසී  ඇත. පෙනෙන  තෙක් මානයේ  ඇත්තේ ගස් පමණි, කලාතුරකින් බිම වැවී ඇති පඳුරක් හැරෙන්නට බිම ටර්පන්ටයින් කොළවලින් වැසි ඇත. කුඩා පාරෙන් ඉවතට ගත්  රථය විශාල ගසක් යට නතර විය. රුෂාන්ත එලියට බැස්සේය. නමුත් ඇය සෙළවෙන පාටක් නැත, ඔහුද පිටුපස අසුනට ගොඩවිය.

"අපි නුවරඑළියේ ඉන්නවා බාප්පා දැකල තියෙනවා අය්යේ "

"ඔයා ඔවා  ගණන් ගන්න එපා, බාප්පා  අපිට මොනා කරන්නද?'

"ඔයානං  කියයි, මටනේ ඔක්කොම ප්‍රශ්න"

"බය වෙන්න එපා ඔයාට ගෙදර යන්න බැරි නං,මාත් එක්ක යං "

"මාත්  කැමතියි ඔයත් එක්ක යන්න එත් අපිට කසාද බදින්න බෑනේ මගේ වයස මදිනේ, බාප්පා  කියන්නේ ඔයාව පොලිසියට අල්ලලා දෙනවා කියල"

"ඒක මම බලා  ගන්නං, ඔයා බය බය නැතුව ඉන්නකෝ" කියමින් ඇයගේ බඳ  වටා  එක ඇතක්  යවා අනෙක් අතින් ඇයගේ නළලට වැටි ඇති කෙස්  වැටිය මෑත් කොට ඔලුව අත  ගාමින්  නළල සිප ගත්තේය. ඇය  ඔහුගේ බොකුටු හිසකෙස් අතරින් ඇගිලි  යවා පිරි මදින්නට විය, ඔහු සෙමෙන් ඇයගේ කම්මුල්ද සිනිදු තොල්පෙතිද සිපගන්නා විට, ඇය දෑස පියාගෙන එය විඳ ගන්නා  අයුරු රුෂාන්ත විටෙන් විට හොරෙන් ඇස් ඇර බැලුවේය. ඔහු ඇයගේ බ්ලව්සයේ ඉහලින්ම ඇති බොත්තම ගලවන්නට උත්සහ දරන අතර තුර ඇය  ඊට පහලින් ඇති සියලු බොත්තම් දෑස පියාගෙනම ගලවා දැමුවාය. ඔහු තන පටයේ පිටුපස ගාන්චුව සීරුවෙන් ගලවා එය ඉහලට කර, නිරාවරණය වූ පියයුරු  මත හිස හොවා  ගත්තේය, ඔහුගේ ඇඟිලි ඇයගේ  සිරුරේ වඩාත් සංවේදී තැන් සොයා යන්නට විය. ටික වෙලාවකින් අසන්නට ලැබුනේ වළවල් වලට ත්‍රී රෝද රථය වැටෙන විට සර්පිල දුණු වලින් නිකුත් වන  කිරි කිරි හඬය.

සවස පහ පසු වී විනාඩි විස්සක් පමණ වන විට රුෂාන්ත  නැවතත් ත්‍රී  රෝද රථ ගාලට පැමිණ සිටී. ඔහු නොඉවසිල්ලෙන් සිටින්නේ කවුරුන් හෝ පැමිණෙන තුරුය. ටික වෙලාවකින් අළු පැහැති ත්‍රි රෝද රථයකින් පැමිණෙන්නේ රුෂාන්තගේ අති  ජාත මිතුරාය, ඔහු ජයන්තය.

"මචං කාංචනාගේ  බාප්පා  කාරයා ගේම ඉල්ලනවා බං" රුෂාන්ත කිවේය.

"හරි අපි බලමුකෝ, ඌ උඹට මොකුත් කිව්වද?"

"නෑ"

විදුලි වේගයෙන් පොලිස් ජීප් රථයක් ඔවුන් සිටින ස්ථානය පසු කරගෙන ඉගිලෙන්නට විය.

"අපි යමුද එයාර් පෝට් පැත්තේ? " රුෂාන්ත  ඇසුවේ සති තුනකට පමණ පෙර රථ ගාලට පැමිණි නාමල්ගෙනි.

"බෑ  අය්යලා යන්න"

අසල වූ කඩයෙන් සිගරට් කිහිපයක් මිලට ගත් රුෂාන්ත ජයන්තගේ ත්‍රී  රෝද රථයට ගොඩ වූ අතර, දෙදෙනා   එයින් මීටර් දෙසිය පනහක් පමණ ඇතින් පාරට මායිම්ව  ඉහල කඳු යාය  තෙන් විහිදී ඇති පයිනස් කැලැව දෙසට පදවන්නට විය. පාරෙන් කැලැව දෙසට හරවා  රථය පයිනස් ගසක් මුල නතර කළ ඔවුහු ප්‍රථමයෙන්ම විශාල ගසක් බලා එහි මුල සේදී යන්නට මුත්‍රා කලෝය,  තවත් ගසක් මුල හිඳ ගත්තෝය. රුෂාන්ත  කලිසමේ සාක්කුවෙන් එලියට ඇද ගත් ගංජා පැකට්ටුව  ජයන්ත අතට දී ගෝල්ඩ් ලීෆ් පැකට්ටුවක ඇතුලත සියුම් කඩදාසි පටලය ගලවන්නට විය, ජයන්ත  සිගරට් එකක් කඩා එහි දුම්කොළ සමග එකට එක අනුපාතයෙන් ගංජා මිශ්‍ර  කළේය. මිශ්‍රණය, ගලවාගත් කඩදාසියේ ඔතා  කේතුවක ආකාරයෙන් කුඩා සුරුට්ටුවක් සාදාගෙන පත්තු කර ගත්හ.

ඉහලට ගිය පොලිස් ජීප් රථය නැවත හරවාගෙන එන ගමන් මහා හඬින් තිරිංග යොදා ත්‍රී  රෝද රථගාල ඉදිරියේ නතර කළේය. එහි රියදුරා සහ පිටුපස ආසනයේ සිටි දෙදෙනා නිල ඇඳුම් සහිතය. ඉදිරි අසුනේ සිටි අනෙක් නිලධාරියා සිවිල් ඇඳුමින් සැරසී  සිටියේය. ඔහු රථයෙන් බැස  ඇවිත්,

"රුෂාන්ත කෝ" යයි ඇසුවේ නාමල්ගෙනි.

"මම දන්  නෑ  සර් " නාමල් කීය

"එහෙනම් මේ රුෂාන්තගේ වීල් එක තියෙන්නේ "පොලිස් නිලධාරියා පැවසුයේ රුෂාන්තගේ ත්‍රී  රෝද රථය නාමල්ට පෙන්වමිනි.

" කෝල් එකක් දීල අහපන් රුෂාන්ත  ඉන්නේ කොහෙද කියල" නාමල් සාක්කුවෙන් ජංගම දුර කථනය එලියට ගන්නට කිහිප වරක් උත්සහා කරන්නට සිදු  වුයේ ඔහුගේ දෑත් වෙව්ලන බැවිනි. අවසානයේ ඔහු රුෂන්තට කතා කළේය.

"කොහෙද රුෂාන්ත  ඉන්නේ" පොලිස් නිලධාරියා නැවතත් නාමල්ගෙන් අසයි

"එයාර් පොර්ට් එකේ" නාමල් වෙව්ලන හඬින් පිළිතුරු දෙයි

"මොන එයාර් පොර්ට්ද යකෝ, අපි උඩට යන කොට මෙතන හිටපු එකා  දැන් කොහොමද එයාර් පොර්ට් ගියේ, එන්න එපා තොපි අපිව තම්බන්න" කියා කිවේ අඩියක් ඉදිරියට තබා අතක්ද ඔසවමිනි. අවට සිටියවුන් දෑස්  වසා  ගත්හ, නමුත් ඔහු පහර එල්ල කලේ  නැත.

"නෑ සර් අර අර පයිනස් එකේ"

"ආ  එහෙම වරෙන්, අපි බබාල  කියල හිතන්න එපා" කියමින් ජීප් රථයට නැග  යන්නට ගියේය.

ජීප් රථය පයිනස් කැලැව අසල නතර කළේය. නාමල් තවමත් ජීප් රථය දෙස බල හිදින්නේ ගල් ගැසුනාක් මෙනි. එහිදීද එයින් එලියට බැස්සේ සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරියා පමණි.ඔහු පයිනස් කැලැව දෙසට වේගයෙන් ඇවිදගෙන යන අයුරු නාමල් බලා සිටියේය.

සුරුට්ටුවෙන් පෙනහැල්ලට  ඇද ගන්නා දුම ටික වෙලාවක් තබාගෙන දුම් දුලි සේ වාතයට මුසු කරමින් රුෂාන්ත  සහ ජයන්ත තවමත් පයිනස් ගස යට හිදගෙන සිටී. පොලිස් නිලධාරියා පැමිණෙන්නේ ඔවුන්ගේ පිටුපසිනි. බිම ඇති වියලි කොළ පොඩි වන ශබ්ධය ඇසි  දෙදෙනාම පිටු පස හැරී  බලති. පොලිස් නිලධාරියා සිටින්නේ ඔවුන්ට මීටර් තුනක් පමණ ඇතිනි.

"ආ උඹල දෙන්නම මෙතන නේද?"

දෙදෙනාම එකවර නැගී සිටී.

"මම ගියා  මන්ජුගේ කඩේට, මංජු හිටියේ නෑ, මන්ජුට කියපන් හෙට හවස ගෙස්ට් හවුස් එකේ පාටියක්  තියෙනවා අලුත් ඕ අයි සී  මහත්තයට, එකට බෝතල් පහකුයි, සිගරටුයි එවන්න කියල" පොලිස් නිලධාරියා එක හුස්මට කියාගෙන ගියේය.

"හරි සර් මම කියන්නම්"

"ආ  මෙන්න මේවා තණමල්විල බඩු, ඊයේ අල්ලපුවා" පොලිස් නිලධාරියා කඩදාසියක එතු පාර්සලයක් රුෂාන්ත ට විසිකර අඳුරේ නොපෙනී ගියේය.



Nihal Ananda

unread,
Nov 17, 2023, 3:42:25 AM11/17/23
to ind...@googlegroups.com
නුවරඑළිය ට නුදුරු කැප්පිටිපොල නගරයේ ,
ත්‍රී විල් පාක් එකේ, ත්‍රී වීල් රියදුරෙකු වන
රුශාන්ත ගේ සෙනසුරාදා දිනයක ,දින චරියාව 
 .........පිලිබඳ documentary එකක් බව පෙනේ .!

Nissanka Rajapaksa

unread,
Nov 17, 2023, 6:14:30 AM11/17/23
to INDRAKA group
සංසාර චක්‍රයේ .....

හේරගේ අදහස ගැන මට පුදුමයි.

මට නම් දැනුණා මේක හොඳ කෙටිකතාවක් විදියට. මොකද, හාමුදුරුවන්ගේ උප්පරවැට්ටිය අවසන් මොහොත තෙක් මට වැටහුණේ නෑ. 

Nissanka Rajapaksa

unread,
Nov 17, 2023, 6:19:05 PM11/17/23
to INDRAKA group

16
වෙඩිල්ල

- ඩබ්ල්යු ඒ සිල්වා

Arthur Arambepola

unread,
Nov 17, 2023, 7:41:12 PM11/17/23
to ind...@googlegroups.com
මටත් හිතෙන විදිහට "සංසාර චක්‍රයේ කෙළවර" හොඳ කෙටිකතාවක්.
නුමුත් ජානක ගුණතිලක යන එම ලේකඛයාම ලියා ඇති "අපගමනය" නම් documentary තරම් වත් වටින්නේ නැහැ.එහි කථාවක් නැහැ. එමෙන්ම documentary එකක් වන්න තරම් විශ්වාසනීයත්වයකුත් නැහැ.
 

Nissanka Rajapaksa

unread,
Nov 18, 2023, 6:41:15 PM11/18/23
to INDRAKA group

17

සමුගැනීම

Translation of the short story ‘Sea Lounge’ by Kamala Das

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

මුහුදුබඩ අවන්හලේ සුදු සහ තද රත් පැහැති බුමුතුරණෙන් යුතු වූ පඩිපෙළ නැගීමට පෙර, සත්‍යාවෘත විසින් තමන් කියන්නට යන දේ බොහෝ වතාවක් පුරුදු පුහුණු වී තිබිණි. නමුත් එහි දොර වෙත එළඹෙද්දී හදිසියේ දැනුණු තැති ගැනීමක් නිසා ඔහු මඳක් නතර වූයේ ය. ඇය වැළපෙනු ඇතිද? අන්තිමට එවන ලද ලිපි දෙකෙහි තිබුණු ආකාරයට ඔහු වෙනුවෙන් ඇති නොසැලෙන ආලය සපථ කරමින් ඈ විකාරරූපී ලෙස හැසිරෙනු ඇතිද? තමන් මේ හමුවීම සඳහා තෝරාගත්තේ වැරදි තැනක් ද? ටාජ් හෝටලය නිරතුරුවම තමන් හඳුනන අයගෙන් පිරී තිබිණි. මේ මුහුදුබඩ අවන්හලේ දී නම් ඇයව විශාල මල් පෝච්චියක් පසුපසින් අසුන් ගැන්වීමට හෝ අවන්හල කෙලවර ඇපොලෝ ජැටිය පේන මානයේ වූ මේස පෙළට කැඳවා යනු හෝ හැකිවනු ඇත. 

අනිවාර්යයෙන්ම මේ හමුවීම පහසු නොවන බව ඔහුට හැඟිණි. ඇය තමන්ගේ සිරුර කැපී පෙනෙන අමුතු ඇඳුම් ඇඳීමට ප්‍රිය කළා ය. පසුගිය වසරේ දිනක වෙළඳ සංකීර්ණයකදී ඔහුට හදිසියේ ඇයව හමු වූ වේලාවකදී ඇය ගෙල වටා රත් පැහැති සාළුවක් ඔතාගෙන සිටි අතර ඇගේ ජීන්ස් කලිසමට අල්ලා තිබුණු අන්ඩ හතර නිසා ඊට විසුළු බවක් එක් වී තිබිණි. “මම නිකම් පිස්සියෙක් වගේද?” ඇය එදා ඔහුගෙන් ඇසුවාය. මේ ගමනටත් ඈ එලෙසම හැඳ පැළඳ ආවොත්? එසේ වුවහොත් ලැජ්ජාව නිසා තමන්ගේ පණ යනු ඇතැයි ඔහුට සිතිණි. 

ඔහු දොර තල්ලු කරගෙන ඇතුළු වූ විගසම ඇයව දුටුවේය. දෙවෙනි මේසයේ අසුන්ගෙන සිටි ඈ දුක්මුසු ලෙස මුහුද දෙස බලා සිටියාය. ඇය බලා සිටි දෙසට නෙත් යැවූ ඔහුට පෙනුණේ සැන්දෑ අහසත්, නිල් පැහැයෙන් දිලිසෙන මුහුදත්, සුළඟට ඉල්පෙන සුදු පැහැති රුවල් සහිත බෝට්ටු පෙළත් ය. ඔහු ඇය ඉදිරිපසින් අසුන්ගෙන ඇයට ‘හෙලෝ’ කීවේ ය. ඈ සෙමෙන් ඔහු වෙත මුහුණ හරවා සිනාසුණා ය. 

“මම විනාඩි කිහිපයක් පමාවුණු එක ගැන සමාවෙන්න. මාව කාර්යාලයේ වැඩකට කොටු වුණා.” ඔහු කීය 

එය අසා ඈ හිස සලා “මම මට ඇණවුම් කළා,” කීවාය. ඈ ඉදිරිපස  කුඩා මධු බඳුනක් විය. 

ඔහු සේවකයෙකු වෙත සන් කර හැම්බර්ගරයක් සහ කෝක් පානයක් ඇනවුම් කළේය. 

“ඔයා කවදාවත් බොන්නේ නැද්ද?” ඇය විමසුවාය.

“අද මට සනීප මදි” මෙනු පත අතපාත ගාමින් ඔහු පිළිතුරු දුන්නේ නොසන්සුන් ලෙසයි. 

‘මම හොඳ සිහියෙන් ඉන්න ඕන’, ඔහු තමාටම කියා ගත්තේය. ‘මත්පැන් බීලා මෙයා ගැන මගේ හිත වෙනස් වෙන්න අරින්න නරකයි.’ 

තමන් ඇයව විවාහ කරගැනීමට අදහස් නොකරන බව ඔහු කෙටියෙන් කිව යුතුය. ඇය ඔහුට දුන් ආදරය ගැනත්, ඇය නගරයට ආ අවස්ථාවන්හි දී කළ කතාබහ වල සහ ඇය එවූ ලිපි වල වූ කරුණාබර බව ගැනත් තමන් ස්තූතිවන්ත බව සඳහන් කළ යුතු ය. ඉන් ඔබ්බට යමක් මෙහි නොමැති බැවින් ඔහු ඈ සමඟ අනුකම්පා විරහිත ව හැසිරෙන්නට ඉටාගෙන තිබිණි. ඔහු සමඟ අනාගතයක් ගැන සිහින මැවීම ඇය සිදු නොකළ යුතුය. ඇය ඔහු කැමති වර්ගයේ කාන්තාවක් නොවිණි. ඈ ම තමන්ට ‘පිස්සියක්’ යැයි කියාගත්තා ඔහුට හොඳහැටි මතක ය. ඔහුගේ කැමැත්ත වූයේ නවීන ගති ඇති ලාලිත්‍යයෙන් යුතු ගැහැනුන්ටයි. 

“මට අනම් මනම් දොඩවන්න කාලය ගත කරන්නේ නැහැ,” ඔහු එක එල්ලේ ඇගේ දෑස දෙස බලමින් කීවේය. “මට ඔයාව කසාද බඳින්න අවශ්‍ය නැහැ. ඇත්තම කියනවා නම් මම තව අවුරුදු දහයකට වත් බඳින්න බලාපොරොත්තුවක් නැහැ.”

ඇය තම අතේ වූ වීදුරුව සෙමෙන් කරකවන්න විය. එය ලා පැහැති මධු පානයක් සහිත සිහින් උස පළිඟු වීදුරුවක් වූ අතර ඒ තුළ දෙහි පෙත්තක් පාවෙමින් තිබිණි. ඇගේ දිගු අතැඟිලි ඉතාම අලංකාර බව ඔහු පළවෙනි වතාවට නිරීක්ෂණය කළේය. අගේ සුරතේ මැද ඇඟිල්ලේ පැළඳ සිටි මුදුවේ වූ නිල් මැණික් ගල් දෙක ඇගේ අහස් නිල් පැහැති සාරියේ පැහැයට මැනවින් ගැලපුණි. ඇගේ නිල් සාරියත් නිල් ගල් ඇල්ලූ මුද්දත් සමඟ ඈ ඒ අවන්හල තුළට සයුරේ සුන්දරබව රැගෙන විත් තිබිණි. ඈ ව පෙනුණේ ඈත අහසේත්, මුහුදේත්, රුවල් බෝට්ටු වලත් කොටසක්ම ලෙසිනි. ඇගේ මේ ලාලිත්‍යය තමන් මීට පෙරදී නොදුටුවේ ඇයිදැයි සිතමින් ඔහුගේ සිත නොසන්සුන් වන්නට විය. 

නමුත් තමන් තීරණය ගෙන අවසාන ය. 

“ඒකට කමක් නැහැ, මට තේරෙනවා, කරුණාකරලා මං ගැන වධ වෙන්න එපා.” ඈ කීවාය.

“ඔයාගේ තාත්තා ඊයේ මට කතා කළා.” ඔහු කීවේය. හැම්බර්ගර් එකෙන් කටක් කද්දී තමන්ගේ හැසිරීම් අපිළිවෙල බව ඔහුට හැඟිනි. 

“ඔව් තාත්තා මට කිව්වා,” ඈ සන්සුන් ස්වරයෙන් කීවාය. “එයා ගැන හිතන්න එපා, මම මේ හැම දෙයක්ම එයාට පැහැදිලි කරන්නම්.”

“ඒත් ඔයා ලබන මාසේ ඇමෙරිකාවට යන්න කළින් විවාහ වෙන එක නේද තාත්තාගේ කැමැත්ත?” ඔහු ව තමන්ට අවශ්‍ය බව කියා තවත් අවස්ථාවක් දෙන ලෙස ඈ ඉල්ලනු ඇතැයි සිතමින් ඔහු ඇසුවේය. 

“මම මගේ පරණ පෙම්වතාව බඳිනවා, එයා අවුරුදු ගානක් තිස්සේ මං ගැන පිස්සුවෙන් හිටියේ. දැන් ඕවා ගැන හිතන්න ඕන නැහැ, ඔයාගේ අලුත් රස්සාව ගැන මට කියන්නකෝ.”

ඉනික්බිති ඔහු තමන්ගේ ආයතන ප්‍රධානියා ගැනත්, ගෙවල් අයිතිකරු ගැනත්, මිතුරන් ගැනත් කතා කරද්දී ඈ උස් වීදුරුව වෙත දෑස යොමු කරගෙනම එය තම ඇඟිලි අතර කරකැවූයේ එය ඔවුන් දෙදෙනාගේ අනාගතය පෙන්වන පළිඟු බෝලයක් වූ ලෙසිනි. ඇගේ ඒ ක්‍රියාව ඔහුගේ අවධානය තදින් පැහැර ගත්තේය. ඇගේ පැහැපත් දෑත ඔහුගේ දෑස ඉදිරියේ රැඟුමක් පාන බවක් ඔහුට දැනුණි. අවන්හලෙන් පිටත අහස කළුවර වෙමින් තිබිණි. ඇගේ සන්සුන් බව දෙස පුදුමයෙන් බැලු ඔහුට ඇගේ දෑසත් කෙමෙන් අඳුරු වෙනවාදැයි සිතාගනු නොහැකි විය. හැම්බර්ගරයෙන් අඩක් පිඟාන මත ඉතිරි කළ ඔහු තම මුව පිසදා ගත්තේය. 

“මේ හැම්බර්ගර් එක හරි නැහැ, මම හිතන්නේ නැහැ මට ඒක කාලා ඉවර කරන්න පුළුවන් කියලා.” ඔහු කීවේය.

ඇය සිනාසුනාය. “දැන් මට යන්න වෙලාව හරි.” ඈ කීවාය. 

තව ටික වෙලාවකින් ඔවුහු එක්ව මුහුදුබඩ අවන්හලේ පඩි පෙළ බසිමින් සිටියහ. එහි බුමුතුරුණු රටාවේ හැඩ අගය කරමින් ගිය ඈ, පිවිසුම් ශාලාවේ වූ පොත් හලේ නැවතී, සඟරාවක පිටුවක් දෙකක් පෙරලා බලා, හෝටලයෙන් පිටව යන්නට සැරසුණා ය. 

“ඔයාට මම ඒ සඟරාව අරන් දෙන්නද?” ඔහු උනන්දුවෙන් ඇසුවේය. 

“එපා, එපා, ඕවා බොහොම මිළ වැඩියි, ඒ වුනාට ස්තූතියි” ඈ කිරිගරුඬ පියගැට පෙළ මත නැවතී කීවාය.

සුළඟ සමඟ ඉගිලෙන්නට වූ ඇගේ කෙහෙරැළි මොහොතකට ඇගේ මුහුණ වසා පැතිරී, නැවත සන්සුන් විය. ඈ දිස් වූයේ බෙහෙවින්ම සුන්දර ලෙසයි. තම ජීවිතයේ තිබෙන සුන්දරත්වය ඈ සමඟ අතුරුදන් වන්නට යන බව තම හද රිදුම් දෙද්දී ඔහුට වැටහිණි. ලිපියක් ගැන හෝ නැවත මුණ ගැසීමක් ගැන සඳහනක් රහිතව ඈ ඔහුගෙන් ඉවත් වෙමින් සිටින්නීය. සියල්ල අවසන් වී තිබිණි. 

කලබල වූ ඔහු, “ඔයා කැමති තැනකට මට ඔයාව බස්සන්න පුළුවන්” කීවේය. 

එහෙත් ඈ හිස සැලුවාය. “නැහැ මට ඇවිදින්න ඕන,” අගේ කටහඬේ සිනාවක් මතු වෙමින් තිබිණි. “නැත්නම් මේ ලස්සන හවස් වරුව අපරාදේ, මට බොහොම දුරක් ඇවිදගෙන යන්න ඕන, ස්තූතියි ඔයාට.”

ඉනික්බිති ඈ වමට හැරී ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලය පසුකර, සන්ධ්‍යා සුව විඳින්නන් සහ සිප්පි කටු බෝනික්කන් විකුණන වෙළෙන්දන් අතරින් ඇවිද ගොස් නොපෙනී ගියා ය. ඉන් අනතුරුව අඳුර එළඹිණි.



Nissanka Rajapaksa

unread,
Nov 19, 2023, 5:12:02 PM11/19/23
to INDRAKA group

18

මට වෙන කිසිවක් එපා

- මුල්ක් රාජ් ආනන්ද් ගේ

The Lost Child කෙටි කතාව ඇසුරින් මව්බස කියවීම් පොතකට ඇතුලත් කර තිබූ කතාවකි.

ඒ වසන්ත උත්සවයයි. දැකුම්කලු ඇඳුමෙන් සැරසුණු ජනයා නගරයෙන් පිටත පටු මාවත් ඔස්සේ ඇදී එන්නට වූහ. සිය ගුහා තුළින් පිට ව දීප්තිමත් ඉර අව්ව බලා ඇදෙන පැහැපත් හාවුන් රංචුවක් මෙන් මහා ජනකාය අතුරු සිදුරු නැති වෙළඳ පොළ දෙසට යුහුසුලු ව ගමන් ගත්හ. දෙපසින් ගමන් කළ අම්මාටත්, තාත්තාටත් මැදි ව කුඩා පිරිමි ළමයෙක් හැල්මේ දිව්වේය. උදෑසන සිරියෙන් පිබුදු වූ ඔහුගේ සිත, සුපිපි කුසුමින් හා මිහිරි ගීත රාවයෙන් සපිරි කෙත් යාය දෙසට ඇදී ගියේය.

"එන්න, දරුවා එන්න," මඟ දෙපස වෙළඳ සැල්වල සෙල්ලම් බඩු බලමින් ලැග්ගෙන්නට වූ ළමයාට දෙමවුපියෝ අඬගැසූහ.

ඔහු දෙමවුපියන් ළඟට දිව්වේය. දෙමවුපියන්ගේ අඬගැසීමට ඔහුගේ දෙපා අවනත වූව ද, දෙනෙත් සෙල්ලම් බඩුවල ම ඇලී තිබිණි. තමා එන තුරු නැවතී සිටි දෙමවුපියන්ගේ බැල්ම තේරුම් ගත හැකි වූව ද, ඔහුට සිය  හදවතෙහි ආසාව මැඩ ගත නොහැකි විය.

"මට ඕනෑ අර සෙල්ලම් බඩුව," ඔහු කෙඳිරි ගෑවේය.

පියා ළමයා දෙස රවා බැලුවේය. එදා දවසේ වූ උද්‍යෝගයෙන් පිබිදුණු අම්මා ද ඔහුගේ ඉල්ලීම ගණනකට නොගත්තාය.  ඈ ළමයාට ඇඟිල්ල අල්ලා ගැනීමට දෙමින් "බලන්ඩකො පුතා, අර මොනව ද තියෙන්නෙ කියල තව ඉස්සරහ," යි කීවාය.

"අ-ම්-මේ" ඉකි ගැසූ ඔහුගේ දෙනෙත් ඉදිරිපස වූ විසිතුරු දර්ශනයෙන් පිරී ගියේය. මෙතෙක් තමන් ගමන් කරමින් සිටි ගුරු පාරෙන් උතුරට හැරුණු ඔවුහු කෙත් යායක් මැදින් වැටී තිබුණු අඩි පාරකට පිවිසුණෝය.

ඒ රන්වන් මලින් පිරුණු අබ කෙත් යායකි. එහි සුළඟින් නැඟෙන රැලි පෙළ, ඈත පෙනෙන ආලෝක ධාරා සාගරය කරා නොයෙක් අතු ගංගා සහිතව ගලා බස්නා රත්තරන් ගංගාවක තරංග මාලාව වැන්න. එය අවසන් වන තැන එක් පසෙක මැටියෙන් තැනූ ගෙවල් සමූහය ඊට පහළින් දක්නට ලැබුණු කසාවතින් සැරසුණු ජනකාය නිසා වඩාත් ඉස්මතු වී පෙනිණි. මිනිසුන්ගේ කට හඬින් සහ නළා හඬින් මුළු පෙදෙස ම ඒක කෝලාහල විය.

ප්‍රීතියෙන් කුල්මත් වූ ළමයා දෙමවුපියන්ගේ මුහුණු බැලුවේ ඔවුනුත් තමන් මෙන් ම ප්‍රීති වෙත් දැයි විමසන්නට මෙනි. ඔහු අඩි පාරෙන් ඉවත පැන වසු පැටවෙකු මෙන් කෙත් යායේ ඒ මේ අත දුවන්නට විය. අබ කෙත් යාය පිසගෙන එන සිසිල් මඳ සුළඟ ඔහුගේ දෙපා වැළඳ ගත්තේය.

දම්පාට පියාපත් විදහාගෙන පියාසර කරන කූරන් රංචුවක් එහි වූහ. ළමයා කූරෙකු අල්ලා ගැනීමට තැත් කළේය. ඌ පියාපත් හකුළාගෙන පැළෑටියක වසන තුරු ම පසු පස දිව්වේය. ළමයා කූරා අල්ලා ගැනීමට අත දිගු කරත් ම ඌ පියාපත් විදහාගෙන ඉගිළී ගියේය. ළමයාගේ කන ළඟ කරකැවුණු මීමැස්සෙක් ඔහුගේ තොලෙහි වැසීමට සූදානම් විය.

"එන්න ළමයා, පාරට එන්න," මව අඬගැසුවාය.

දෙමවුපියන් කරා දිව ගිය ළමයා ඔවුන්ගේ ඇඟෙහි ගැටෙමින් ප්‍රීතියෙන් ගමන් කළේය. එහෙත් අව්ව තැපීමට ගුල්වලින් පිටතට ඇදෙන කෘමීන් සහ පණුවන් කෙරෙහි සිත් ඇදී ගියෙන් ඔහු නැවතත් පහු වුණේය.

"එන්න පුතා, එන්න," ළිඳක් අසල සෙවණෙහි හිඳගත් දෙමවුපියෝ ළමයාට අඬගැසුවෝය. ඔහු ඔවුන් වෙතට දිව ගියේය.

මල් පිපුණු නොයෙක් ගස්වැල්වලට ඉහළින් අතු පතර විහිදා නැඟී සිටි විශාල නුග ගහක් එහි විය. මල් සුවඳ මඳනල සමග මුසු විය.

රුක් ගොමුවට පිවිසුණු ළමයාගේ හිස මත මල් පෙති පතිත විය. දෙමවුපියන් අමතක කළ ඔහු වැටෙන මල්පෙති ඇල්ලීමට පටන් ගත්තේය. මොහොතකින් පරවියෙකුගේ හඬ ඇසූ ඔහු, "පරෙයියෙක්, පරෙයියෙක්" කියමින් දෙමවුපියන් ළඟට දිව ගියේය. ඔහු අත වූ මල් පෙති බිම වැටුණේය. දෙමවුපියන්ගේ මුහුණුවල වූයේ කුතුහලයෙන් පිරි බැල්මකි. කොවුලෙකු නැඟූ ආදර රාවයෙන් ඔවුන්ගේ හදවත සැහැල්ලු විය.

"එන්න පුතා." නුග ගස වටා යමින් සිටි ළමයා කැඳවා ගත් ඔවුහු අබ කෙත් යායේ සිට වෙළඳ පොළ දක්වා වැටී තිබුණු පාර දිගේ ගමන් කළහ.

වෙළඳ පොළ දෙසට වැටී තිබුණු හැම පාරකම මහ සෙනග පිරී සිටියහ. එහි පිවිසෙන දොරටුව අසල වූ කලබලයෙන් ඔහු අන්දුංකුන්දුං විය.

වෙළෙන්දෙක් දොරටුව අසල රස කැවිලි විකුණමින් සිටියේය. රිදී සහ රන් පැහැති කඩදාසිවලින් සරසන ලද මේසය වටා සෙනග රොක් වී සිටියහ. ළමයා දෙනෙත් මහත් කොට සීනි බෝල දෙස බැලුවේය. ඔහුගේ කටට කෙළ ඉණුවේය. "මට ඕනෑ සීනිබෝල." ඔහු ‌කොඳුළේය. එහෙත් සිය ඉල්ලීම දෙමවුපියන්ගේ සැලකිල්ලට භාජන නොවනු ඇතැයි සිතූ ඔහු නොනැවතී ඉදිරියට ගමන් කළේය.

මිනිහෙක් සුළඟ‌ේ ලෙළදෙන කහ, රතු, නිල් සහ දම් පාට බැලුන් රැසක් ගැට ගසා ගත් රිටක් ඉහළට ඔසවාගෙන සිටියේය. ඒ බැලුන් සියල්ල ම අත්කර ගන්නට ඇත්නම් යයි හැඟෙත් ම ලොකු ළමයින්ට බැලුන් ඕනෑ නැහැ යි දෙමවුපියන් කියනු ඇතැයි ඔහුට සිතිණි.

නයි නටවන්නෙක් ඔහුගේ නළාව පිඹිමින් සිටියේය. පෙට්ටිය තුළ දරණ ලා ගෙන සිටි නයා නළා හඩ ඇසෙත් ම දර්ශනීය ලෙස හිස එසවූයේය. ළමයා නයි නටවන්නා දෙසට ගියේය. එහෙත් එබඳු තැන්වලට නොයන ලෙස දෙමවුපියන් කලින් කර තිබුණු අවවාදය සිහි වූ ඔහු ආපසු පියා ළඟට දිව්වේය.

වේගයෙන් කරකැවෙන 'මෙරිගෝ රවුමක්' එහි විය. එහි නැඟී සිටි සියලුදෙනා ම ප්‍රීතියෙන් කෑ ගැසූහ. ළමයා එදෙස බලා සිටියේ එහි යෑමට ආසාවෙනි. ඔහුගේ මුවගට මඳ සිනාවක් නැඟුණි. ඔහුගේ ඇස් ද මෙරිගෝ රවුම අනුව කරකැවුණේය; විස්මයෙන් කට බාගෙට ඇරුණේය. තමා ද ඒ සමග ම රවුම් ගසන ලෙසක් ඔහුට දැනුණි. මෙරිගෝ රවුමේ වේගය කෙමෙන් බාල විය. එය නතර වන තෙක් ළමයා ඇඟිල්ලක් කටේ දමාගෙන බලා සිටියේය. දෙමවුපියන් නිතර ම කරන වැළැක්වීම මැඩගෙන ඔහුගේ ආසාව ඉස්මතු විය. අන්තිමේදී ඔහු ඉල්ලීමක් කිරීමට තරම් එඩිතර විය.

"අනේ තාත්තේ,... අම්මේ,... මමත් යන්ඩ ඕනෑ මෙරිගෝ රවුමේ." ඔහු කීවේය. එහෙත් එයට පිළිතුරක් නොලැබුණි. ඔහු දෙමවුපියන්ගේ මුහුණු බැලීමට ආපසු හැරුණේය.

ඔවුහු එහි නොවූහ. ඔහු අනෙක් පස හැරී බැලුවේය. ඔවුහු එහි ද නොවූහ. අනතුරු ව ඔහු පිටු පස බැලුවේය. දෙමවුපියන්ගේ සලකුණකුදු එහි නොවූයේය.

ළමයාගේ උගුර කට වේළුණේය. යටිගිරියෙන් මහ හඬක් නැඟුණි. සිරුරේ වූ හදිසි ගැස්මක් සමග ම ඔහු මහ හඬින් කෑ ගසමින් දුවන්නට පටන් ගත්තේය.

"අනේ... අම්මේ... තාත්තේ."

ඔහුගේ දෙනෙතින් කඳුළු ගලා බැස්සේය; බියෙන් මුහුණ විරූපී විය. වරක් ඔහු එක් අතකට දිව්වේය. යළිත් වරක් අනෙක් අතට දිව්වේය. අනතුරු ව යා යුතු අතක් නොදැන ඔළුව හැරුණු හැරුණු අතට දිව්වේය.

"අම්මේ... තාත්තේ..."

ඔහු වැලපුණේය. ඔහුගේ උගුර බැරෑඬි විය. හිසෙහි වූ කසාවන් තලප්පාව ගැලවුණේය; ඇඳුම් ඩහදියෙන් තෙත් විය; සිරුරෙහි වූ දූවිලි ඩහදිය සමග මුසු වී මඩ තැවරුණාක් මෙන් වූයේය.

මඳ වේලාවක් ඔබ මොබ දිවීමෙන් තෙහෙට්ටුවට පත් ඔහු නැවතුණේය. ඔහුගේ කෑගැසීම ඉකි බිඳීමට හැරුණි. මඳක් ඈතින් තණ බිමෙහි කතාබස් කරමින් සිටි ගැහැනුන් හා පිරිමින් කණ්ඩායමක් ඔහු දුටුවේ කඳුළු බිඳු අතරිනි. ඔවුන් අතර, අම්මාත්, තාත්තාත් සිටිත් දැයි සොයා බැලීමට ඔහු වෙහෙසුණේය. එහෙත් ඔවුන්ගේ සේයාවකුදු එහි නොවූයේය. ඒ සෙනග විනෝදයෙන් කතාබස් කරමින් හා සිනා සෙමින් සිටියහ.

අනතුරු ව ඔහු දිව ගියේ අතුරු සිදුරු නැති ව සෙනග රැස් ව සිටි දේවාලය දෙසටය. හැම තැන ම සෙනගය. ළමයා ඉකි බිඳිමින් අම්මේ... තාත්තේ යි කොඳුරමින්, සෙනග අතරින් රිංගාගෙන ගියේය. දේවාලයේ දොරකඩ සෙනග උරෙනුර ගැටී තෙරපෙන්නට වූහ. අසරණ ළමයා ඔවුන්ගේ කකුල් අතරින් රිංගා යාමට තැත් කළේය. මිනිසුන්ගේ පා ගැටීමෙන් ඔහු ඒ මේ අත විසි වී ගියේය. ඔහු තමාට හැකි තරම් උස් හඬින් "අම්මේ... තාත්තේ."යි කෑ නොගැසුවේ නම් මිනිසුන්ගේ පයට පෑගෙනු නිසැකය. ඔහුගේ කෑගැසීම් ඇසුණු එක් මිනිහෙක් ඉතා අමාරුවෙන් පහත් වී ළමයා ඔසවා ගත්තේය.

"මේ ළමයා කොහොම ද මෙතනට ආවෙ? ඔයා කාගේ ද?" ඔහු ඇසුවේ මහත් ආයාසයෙන් සෙනග පොදියෙන් මෑත් වෙමිනි. ළමයා පෙරටත් වඩා තදින් හැඬුවේය.

"මට අම්මා ඕනෑ, මට තාත්තා ඕනෑ."

මිනිහා මෙරිගෝරවුම ළඟට ළමයා කැඳවාගෙන ගියේය. "පුතා කැමති ද අස්සයෙක් පිට යන්න?" ඔහු ඉතා මුදු මොළොක් ලෙස ඇසුවේය.

ළමයා ඉකිබිඳ අඬන්නට විය.

"මගෙ අම්මා ඕනෑ මට, මගෙ තාත්තා ඕනෑ මට."

මිනිහා නයි නටවන්නා ළඟට ළමයා කැඳවාගෙන ගියේය.

"අහන්නකො ඒ නළාවෙ අඬ," ඔහු කීවේය.

ළමයා කන් දෙකේ ඇඟිලි ගසා ගත්තේය. "මට ඕනෑ අම්මා, මට ඕනෑ තාත්තා," දෙගුණ වූ වේගයෙන් කෑ ගැසුවේය.

මිනිහා බැලුන් වෙළෙන්දා ළඟට ළමයා කැඳවාගෙන ගියේ බැලුන්වල විසිතුරු පැහැයෙන් ඔහු සැනසිය හැකි යයි සිතමිනි.

"ඔයා ආස ද මේ පාටපාට බැලුන්වලට?" ඔහු ඇසුවේය.

ළමයා අහක බලාගෙන ඉකිබින්දේය.

"මට ඕනෑ මගෙ අම්මා, මට ඕනෑ මගෙ තාත්තා."

ළමයා සැනසීමට තැත් කළ කරුණාවන්ත මිනිහා මල් වෙළෙන්දා ළඟට ගියේය.

"බලන්නකො මේ මල්වල සුවඳ. ඔයා කැමති ද මේ මල් මාලයක් කරේ දාගන්ඩ?" ඔහු ඇසුවේය.

නාසය හකුළුවාගෙන ඉවත බැලූ ළමයා ඉකිබිඳ හඬන්නට විය.

රසකැවිලි ගෙන දී හෝ ළමයා නැළවීමට සිතූ මිනිහා ඔහු රස කැවිලි වෙළෙන්දා ළඟට කැඳවාගෙන ගියේය.

"ඔයා කැමති මොනවාට ද?" ඔහු ඇසුවේය.

"මට... අම්මා... ඕනෑ..."

"මට... තාත්තා... ඕනෑ..."


https://drackey.blogspot.com/2022/09/blog-post_28.html?m=1

.

Nissanka Rajapaksa

unread,
Nov 20, 2023, 6:45:26 PM11/20/23
to INDRAKA group

19 
කාන්ති

ජී බී සේනනායක
(පලිගැනීම කෙටිකතා සංග්‍රහයෙන්)

Nissanka Rajapaksa

unread,
Nov 21, 2023, 2:15:46 PM11/21/23
to INDRAKA group

20

රසකැවිලි වෙළෙන්දා


පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Translation of Chapter 1 of the novel 'The Vendor of Sweets' by R. K Narayan

“කෙනෙක් රසයට ඇති තමන්ගේ කැමැත්ත පාලනය කරගන්නවා කියන්නේ තමන්ගේ ආත්මය පාලනය කර ගත්තා වගේ තමයි” ජගන් කීවේය.

“ඒ මොකටද ආත්මය පාලනය කරන්නේ?” ඔහුගේ කතාවට සවන් දෙමින් සිටි ඥාතියා පෙරළා ප්‍රශ්න කළේය.

“මන්දා, එහෙමනේ අපේ ශාස්තෘවරුන් කියලා තියෙන්නේ” ජගන් කීය.

ඔහුගේ සවන් දෙන්නාට මේ ප්‍රශ්නය කෙරෙහි වූ උනන්දුව නැති විය. ජගන් ගේ පුටුව අසල වූ නූස් ලී බංකුවක හිඳ සිටි ඔහු, ප්‍රශ්න ඇසුවේ කතාබහ ඉදිරියට රැගෙන යාමට පමණකි. ජගන් ගේ පුටුවට ඉහළින් බිත්තියේ ලක්ෂ්මි දෙවඟන ගේ රාමු කළ පින්තූරයක් ගසා තිබිණි. සෑම දිනකම දවසේ පළමු කාර්යය ලෙස බොහෝ භක්තියෙන් මෙහි පිච්ච මල් මාලයක් දවටා යාඥා කිරීමත්, දැල්වූ හඳුන් කූරක් බිත්තියේ සිදුරක රැඳවීමත් ජගන් නොවරදවාම සිදු කළේය. මෙහි අවට වාතය පිච්ච මල් සුවඳින්, හඳුන් කූරු සුවඳින් සහ මුළුතැන්ගෙහි ගිතෙලෙන් බැදෙන රසකැවිලි වල සුවඳින් පිරී පැවතිණි.

මේ සවන්දෙන්නා ජගන් ගේ ඥාති සහෝදරයෙක් වූවත් ඒ නෑකම එක එල්ලේ පැහැදිලි කළ හැකි එකක් නොවූයේ ඔහු නගර වැසියන්ගෙන් වැඩි ප්‍රමාණයක් සමඟ මෙවැනි නෑකම් කී නිසාය. (මින් සමහර ඒවා කෙසේ වත් විය නොහැකි ඒවා විය) නමුත් මේ ගැන අභියෝගයට ලක් කරනු ලැබුවහොත් ප්‍රශ්න කරන්නා හෙම්බත් කරවන වංශාවලියක විස්තර ඉදිරිපත් කරන්නට ඔහුට හැකියාව තිබිණි. මහත් සේ සමාජශීලී අයෙකු වූ ඔහු උදෑසන සිට රාත්‍රිය වන තුරුම විවිධ නිවෙස් වෙත යමින් කාලය ගත කළේය.හැම දිනකම නොවරදවාම හවස හතරහමාරට පමණ ඔහු ජගන් ගේ නිවසට පැමිණියේය.

මෙදිනත් සුපුරුදු වෙලාවටම එහි පැමිණි ඔහු, ජගන් වෙත යන්තම් බැල්මක් හෙලා, හිස සන් කර කෙළින්ම මුළුතැන්ගෙයට ගියේය. විනාඩි දහයකට පසු ඔහු ඉන් නික්මුණේ උරෙහි රැඳි සාලුවේ කෙළවරකින් මුව පිසිමිනි.

“සීනි පාවිච්චිය ගැන ටිකක් බලන්න වෙනවා, මට ආරංචියි ආණ්ඩුව සීනි මිළ වැඩිකරන්න යනවා කියලා. තිරිඟු පිටි නම් අද වරදක් නැහැ. ඊයේ ගොඩ්වුන් පාරේ යද්දී තොග වෙළෙන්දා මුණගැහිලා මම ඌට හොඳවැයින් දෙකක් කතා කළා. ඒ පාරේ මම මොනවා කළා ද කියලා අහන්න එපා ඉතින්, මට මේ නගරේ පුරාම යාළුවොයි නෑයොයි ඉන්නවා. එයාලා හැම තිසේම මට අරකට මේකට මට කතාකරනවා. අපි එකිනෙකාට උදවු නොකරනවා නම් මේ ජීවිතෙන් වැඩක් තියෙනවද?”

“කෝකියා අත්හදා බලන්න හැදුව රසකැවිල්ල කාලා බැලුවද?” ජගන් ඔහුගෙන් ඇසීය.

“ඔව්, නැතුව නැතුව.. ඒක රසයි.”

“හැබැයි මට නම් හිතෙන්නේ ඒක අලුත් මුහුණුවරක් දුන්නු පරණ රසකැවිල්ලක් කියලා. අන්තිමේදී ඔය කෝකත් එකයි, නැද්ද හොඳයි?”

“නෑ මහත්තයෝ,” ඥාතියා කීවේය. “මට නම් තාම හැම රසකැවිල්ලක් අතරේම ලොකු වෙනසක් පේනවා. කවදාහරි දවසක මං යෝගියෙක් වෙලා කෑම වල රස නොදැනෙන තැනට වැටෙන්නේ නැතිවෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.”

කෙනෙක් රසයට ඇති තමන්ගේ කැමැත්ත පාලනය කරගැනීම ගැන තමන්ගේ දර්ශනය ජගන් විසින් ඉදිරිපත් කරනු ලැබුවේ මේ වෙලාවේදීයි. මෙ ලෙස තවත් පැය භාගයක් ගතවන තුරු ඔවුහු සල්ලාපයේ යෙදුනහ. ඉනික්බිති ජගන් මෙසේ ඇසුවේය.

“උඹ දන්නවද මම මේ දවස්වල කන්නේ මොනවද කියලා?”

“මොනවා හරි අලුත් දෙයක්ද?” ඥාතියා ඇසුවේය.

“අද උදේ ඉඳන් මම ලුණු පාවිච්චිය අත් ඇරියා.” ජගන් ආඩම්බරයෙන් දිලිසෙමින් කීවේය. ඔහුගේ මේ නිවේදනය නිසා අසන්නා තුළ ඇතිවුණු කම්පනය දැක සතුටු වූ ඔහු තවදුරටත් තම න්‍යාය ඉදිරිපත් කරන්නට විය. “අපි හරි නම් කන්න ඕන ස්වභාවික ලුණු විතරයි.”

“මොනවද ස්වභාවික ලුණු කියන්නේ?” ඥාතියා විමසුවේය. “කෙනෙක් අව්වේ හැතප්මක් දුවලා දාඩිය දාලා වේලුනාම පිටේ ඉතිරිවෙන ලුණු ටිකද?”

මේ ග්‍රාම්‍ය උදාහරණය අසා ජගන් මුහුණ ඇඹුල් කරගත්තේය. ඔහුගෙන් දිස් වූයේ මේ කිළුටු ලෝකයේ නොගැටී පාවෙන ආත්මයක ස්වරූපයකි. වයස පනස් පහක් වූවත් ඔහුට තිබුණේ කුඩා සිහින් සිරුරකි. ඔහුගේ දුඹුරු සම විනිවිද පෙනෙනසුළු වූ අතර පුළුල් නළල කෙළවරින් ඇරඹුණු, තැන තැන සුදු වූ ඔහුගේ කෙහෙ රැළි ගෙල තෙක් දිගු ව තිබිණි. ඔහුගේ නිකට සුදු රැවුල් කොට වලින් වැසී තිබුණේ ඔහු රැවුල බෑවේ කලාතුරකින් බැවිනි. මීට හේතුව දිනපතා තමන්ගේ පිළිබිඹුව දෙස කැඩපතකින් බැලීම නරක යුරෝපීය පුරුද්දක් ලෙස ඔහු සැලකීමයි.

ජගන් තම දෝතියට උඩින් හැඳ සිටි බුරුල් කබාය ඔහු විසින්ම වියන ලද රෙද්දකින් මැසූ එකක් විය. හැම දවසකම ඔහු පැයක කාලයක් රෙදි විවීමෙහි යෙදුණි. එක් වරකට ඇඳුම් කට්ටල දෙකකට වඩා පාවිච්චි නොකළ ඔහු ඒ සඳහා රෙදි ප්‍රමාණයක් ඉතිරි කරගෙන ඉතිරිය මනා සේ මිටි බැඳ, ප්‍රදේශයේ අත් යන්ත්‍ර රෙදි කමිටුව වෙත විකිණුවේය. ඔහු මෙසේ ඉපයූ මුදල මසකට රුපියල් පහකට වඩා අඩු වූවද ඔහු ඉන් භාවාතිශය සතුටක් ලැබුවේය. ජගන් ගේ මේ පුරුද්ද ඇති වූයේ ඊට වසර විස්සකට පමණ පෙර ගාන්ධි තුමා ඔවුන්ගේ නගරයේ සංචාරය කළ අවස්ථාවේ මේ කාර්යය වෙනුවෙන් ඔහු පැසසුම් ලැබූ පසු යි.

ජගන් පැළඳ සිටි ආමන්ඩ් ඇටයක හැඩති, කහ පැහැති රාමුවෙන් යුතු වූ උපැස් යුවලට ඉහළින් ලොව දෙස එබිකම් කළේය. ලොකු අලංකාරයක් රහිත කහ පැහැති මෝස්තරයකින් යුතු වූ කදාර් සාළුවක් උර වටා පෙරවාගෙන සිටි ඔහු දෙපයේ ලාගෙන සිටියේ වයස්ගතව මිය ගිය හරකෙකුගේ හමින් සැකසුණු පටි සහිත ගනකම් පාවහන් ජෝඩුවකි. ගාන්ධිගේ අනුගාමිකයෙකු වූ ඔහු, මේ ක්‍රියාවන් පැහැදිලි කළේ “මගේ දෙපයේ සුවපහසුව වෙනුවෙන් පණ තියෙන සතෙක්ගේ බෙල්ල කපන්න අවශ්‍ය නැහැ කියලා මම විශ්වාස කරනවා” යනුවෙනි. මේ නිසා හරකෙකු හෝ පැටියෙකු මිය යමින් ඇතැයි යන ආරංචි ඔස්සේ ඔහු ඉඳ හිට ඈත ගම් වෙත සංචාරය කළේය. මෙසේ ගොස් ඒ සතාගේ හම ලබා ගත් පසු ඔහු ප්‍රථමයෙන් එය යම් ද්‍රාවණයක ගිල්වා තබා, ඉනික්බිති එය ඇල්බර්ට් මිෂන් වත්තේ ගසක් යට කුඩා කඩයක් කළ ඔහුගේ හිතවත් සපත්තු මසන්නෙක් වෙත ලබා දුන්නේය.

ජගන් ගේ පුතා හය හැවිරිදි වියේදී පමණ පසු වෙද්දී තම පියා නිවසේ පසුපස බරාඳයේ සිදු කළ මේ හම් පදම් කටයුතු ආදියට සතුටින් එකතු වූයේය. නමුත් ඔහු වයසින් වැඩෙද්දී ජගන් සත්ත්ව හමක් නිවසට ගෙන ආ විට එහි ගඳ ගැන නෝක්කාඩු කියන්නට විය. ජගන් ගේ බිරිඳ පුතා තරම්වත් එය නොරිස්සූ අතර හම් පදම් කිරීමේ කාර්යය අවසන් වන තුරු ඈ තම කාමරයෙන් පිටතට ඒම ප්‍රතික්ෂේප කළාය. මෙය දවස් කිහිපයක් ගත වූ ක්‍රියාවලියක් බැවින් ජගන් තම පාවහන් අලුත් කිරීමට උත්සාහ කළ හැම වතාවකදීම ඔහුගේ නිවසේ සිදු වූ වියවුල සුළු පටු නොවේ. මේ පදම් කිරීමේ ක්‍රියාවලියේ මුල් අවධියේ දී සම් කැබැල්ල බිරිඳට හසු නොවන සේ දර මඩුවේ සැඟවිය යුතු නමුත් එහිදී එය මීයන් කෑමට ඉඩ තිබිණි. ජගන්ගේ බිරිඳ මරණාසන්නව හිඳිද්දී වරක් ඔහුට කිට්ටුවට එන්නට සන් කර යමක් කීවාය. ඈ කී දේ ඔහුට හරි හැටි වැටහුණේ නැතත් ඈ කීවේ “හම් කැබැල්ල වීසි කර දමන්න” යැයි අනුමාන කිරීම නිසා ඔහුගේ සිත රිදිණි. ඇයගේ අවසාන කැමැත්ත විය හැකිව තිබුණු ඒ ඉල්ලීමට හිස නවමින් ඔහු නිවසේ තිබුණු අවසාන හම් කැබැල්ල පුණ්‍යායතනයකට දුන්නේ කෘර බැවින් තොර පාවහන් ලබාගැනීමට තවත් කෙනෙකුට අවස්ථාව ලබා දීම ගැන සතුටු වෙමිනි. ඉනික්බිති ඔහු තමන්ගේ සංකීර්ණ පාවහන් අවශ්‍යතාව සපුරාලීමට ඇල්බර්ට් මිෂන් හි සපත්තු තනන්නා මත යැපුණේය.

දැන් ස්වභාවික ලුණු ගැන තම ඥාතියා කී කතාව අසා ව්‍යාකූල වූ ඔහුගේ මුහුණ රත් පැහැ ගැන්විණි. තම වදනින් ජගන් තුළ ඇතිවූ කම්පනය ගැන සතුටට පත් ඥාතියා එහි කළින් පැවති සතුටු සාමීචිය නැවත ඇතිකරගැනීමේ අටියෙන් මෙසේ කීවේය.

“ඔබ ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම සරල කරගෙන, මම ළඟදී සමූපකාරයේ ලොක්කාටත් කීවේ ඒකයි…”

මේ වැකියෙන් ඔහු බලාපොරොත්තු වූ ප්‍රතිපලය ලැබුණි.

“මම සීනි පාවිච්චියත් නවත්තලා තියෙන්නේ, දන්නවාද? උණු වතුර වීදුරුවක මී පැණි බින්දු විස්සක් දිය කරලා බිව්වාම අපේ ස්වභාවික සීනි අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවා.”

“ඔබ අල්පේච්ඡ ජීවිතය හොඳින් ප්‍රගුණ කරලා,” ඥාතියා කීවේය.

මින් දිරිමත් වූ ජගන් තම ප්‍රකාශයට තවත් තතු එකතු කළේය. “මම බත් කන එකත් අත ඇරියා. මම දැන් එළවළුවක්, මී පැණි ටිකක් එක්ක කන්නේ ගලේ ඇඹරුව තිරිඟු ටිකක්.”

“එහෙම තියෙද්දීත් මට හිතාගන්න බැහැ ඔබ වැඩකරමින්, සල්ලි උපයන්න කරදර වෙමින් මේතරම් මහන්සි වෙන්නේ ඇයි කියලා!”

ඥාතියා වීදුරු කවුළුවේ ප්‍රදර්ශනයට තබා ඇති රසකැවිලි වෙත අත දිගුකරමින් කීවේය.

තමන් පැණිරස නොකමින් අන් අය තමන්ගේ ලාභය වෙනුවෙන් පැණිරස කෑ යුතු යැයි ඔහු බලාපොරොත්තු වන්නේ ඇයිදැයි ඇසීමෙන් ඔහු වැළකුණි. තමන් කී දේවල් ප්‍රමාණවත් යැයි සිතුණු බැවින් ඔහු නැගිට යන්නට සූදානම් වන ලකුණු පෙන්වන්නට විය. ජගන් මුදල් ගණන් කරන වෙලාව එළඹෙමින් තිබුණු අතර ඒ කාර්යය අන් අය නැරඹීම ඔහුගේ අකැමැත්තට හේතු විය. වෙලාව හවස හය වී තිබිණි. ඒ, දවසේ ප්‍රධාන වෙළඳ කටයුතු අවසන් ව ඉදිරිපස වෙළඳසැලේ සේවක කොලුවා ඉසින් දවසේ එකතු වූ මුදල් ගණන් කිරීම සඳහා ගෙන එනු ලබන වේලාවයි. මේ වෙලාවට ජගන් ට දැනුණේ ඔහු සිහසුනට වී තම රාජධානිය පාලනය කරන, තම යටත් වැසියන්ගෙන් (මීට කෝකියන් හතර දෙනෙක් සහ කඩේ කොලුවා ඇතුළත් විය) පඬුරු ලබන රජ කෙනෙක් බවයි. මෙහිදී සිහසුන ලෙස සැලකුණේ තමන්ගේ රසකැවිලි රාජධානියේ හතර අතම පෙනෙන ලෙස උපායශීලිව කුඩා වේදිකාවක් මත තබන ලද, තුනී කොට්ටයක් දමා තිබුණු ලී පුටුවයි. මේ පුටුව ශතවර්ෂයක් තරම් පමණ පැරණි එකක් විය. එහි අත් වාරු දෙක, පසුපස කොටස සහ කැටයම් කළ කකුල් දිලිසෙන පිත්තල තීරු වලින් අලංකාර කර තිබිණි. මේ පුටුව, ලෝව්ලි පිළිමය පසුපස මේ නිවස තනද්දී ජගන් ගේ පියා විසින් විශේෂයෙන්ම තනවන ලද්දකි. සාමාන්‍යයෙන් තම පවුලේ උදවිය නිවසේ ඔප දමන ලද බිම මත අසුන් ගන්නා බැවින් පුටුවක් තනවන්නට අවශ්‍යතාවයක් නොතිබුණත් ඉංග්‍රීසි ජාතික බදු එකතු කරන්නෙකු වූ නෝබල් මහතා නක්ෂත්‍රය ඉගෙනුමට නිතර මේ නිවසට ආ ගිය නිසාත්, පාඩම් වේලාවට ඔහුට බිම හිඳ ගන්නටත්, බිම හිඳ සිට නැගිටින්නත් වේදනාකාරී වූ නිසාත් පුටුවක් සඳහා අවශ්‍යතාවයක් ඇති විය. එකල ඉතා වටිනා ත්‍යාගයක් ලෙස සැලකුන නෝබල් මහතාගේ අත්සන සහිත පින්තූරයක් කාලයාගේ ඇවෑමෙන් දුර්වර්ණ වී සොල්දරයේ සුන්බුන් අතර තිබී සොයාගන්නා ලදී. පසු කලෙක එය සොල්දරෙයන් රැගෙන විත් දරුවන්ගේ කෙළි බඩුවක් ලෙස තැන තැන විසි කරමින් තියෙද්දී පින්තූරය රාමුවෙන් ඉවත් කර ඒ රාමුවේ දෙවියන්ගේ පින්තූරයක් බහා බිත්තියේ එල්ලා තිබිණි. නෝබල් මහතාගේ රාමුවක් රහිත පින්තූරය තව දුරටත් දරුවන් විසින් සෙල්ලමට ගනු ලද අතර ඔහුගේ කොපුල් හි වූ විසිළු සහගත රැවුල ඔවුන්ට හවස් වරු පුරාවටම සිනා ගෙන ආවේය. ග්‍රීෂ්ම ගිම්හාන සමයේදී පවන් ගැසීමටත් මේ පින්තුරය යොදා ගන්නා ලදී. අන්තිමේදී එය නැවතත් පැරණි ගිණුම් ජර්නල සහ අනෙකුත් පවුලේ සුන් බුන් සමඟ නැවතත් සොල්දරයටම යවා තිබිණි.

මෙතැන අසුන්ගෙන සිටිද්දී ජගන්ට මහත් තෘප්තියක් දැනුණි. එක් පසෙකින් ඔහුට මුළුතැන්ගෙහි සිදුවන හැම දෙයක්ම දකින්නත්, අහන්නත්, සුවඳ විඳින්නත් හැකි විය. එහි සිට නිරතුරුවම වෙළඳ සැල වෙත වෛවර්ණ රසකැවිලි පිරවුණු තැටි යැවිණි. මුළුතැන්ගෙහි රසකැවිලි බැදෙන හඬ ඇසෙන තාක් ජගන් ඒ වෙත අවධානය යොමු කළේ නැත. ඒ වෙනුවට ඔහු රත් පැහැති බැම්මෙන් යුතු වූ භගවත් ගීතා පොතේ සංස්කෘත පද වෙත නොසැලෙන බැල්මකින් බලා සිටියේය. නමුත් මුළුතැන්ගෙහි කැවිලි බැදෙන හඬේ කුඩා හෝ විරාමයක් ඇති වුවහොත් ශුද්ධ වූ පාඨයෙන් දෑස් ඉවතට නොගෙනම “මොකද ඔතැන වෙන්නේ?” යැයි ඔහු අසයි. එවිට ප්‍රධාන කෝකියා “මුකුත් නැහැ” කියා තම සුපුරුදු පිළිතුර දෙනු ලබන අතර මෙය ජගන්ගේ මනස සන්සුන් කර නැවතත් දේව වාක්‍ය වෙත යොමු කිරීමට සමත් වේ. නමුත් ඒ ඉදිරිපස වෙළඳ සැලේ යම් පමාවක් ඔහුගේ අවධානයට ලක් වන තුරු පමණි. එවිට ජගන් නැවතත් කෑ ගසන්නට ගනී.

“කැප්ටන්, ඔය කහ පාට සායක් ඇඳගෙන ඉන්න පොඩි කෙල්ලගෙන් අහන්න මොනවාද ඕන කියලා, දැන් එයා සෑහෙන්න වෙලා ඔතැන බලාගෙන හිටියා.”

ඔහුගේ හඬින් වෙළඳ සැලේ කොලුවා මෙන්ම දොර ළඟ සිටින මුරකරු ද යුහුසුළු ව තම රාජකාරි වෙත යොමු වූහ. මේ මුරකරු අතීතයේදී යුධ හමුදාවේ සේවයේ නියුතුව සිටි අයෙකි. කාකි ඇඳුමින් සැරසී සිටින ඔහු නිරතුරුව තම ලී පුටුවේ අසුන්ගෙනම නිදා වැටීමේ සම්භාවිතාවක් තිබිණි. ඇතැම් විට ජගන් “කැප්ටන්, අර මොකද අර හිඟන්නෙක් ඇවිත්? සිකුරාදාට විතරයි හිඟන්නන්ට එන්න පුළුවන්, මේක දන්සලක් නෙමෙයිනේ” යනුවෙන් කෑ ගසනු අසන්නට ලැබිණි.

ඉදිරිපස වෙළඳ සැලේ කොලුවා විසින් හාම්පුතා වෙත දවසේ ආදායම ගෙන එනු ලබන විට වටපිටාවේ නිහැඬියාවක් පැතිරිණි. කොලුවා ගනුදෙනුවලින් මුදල් ලබාගත්තත් ඔහු එහි මුළු එකතුව දැන සිටී යයි අපේක්ෂා කෙරුණේ නැත. ඔහු අතට ලැබුණු හැම පයිසයක්ම දිගු ගෙලක් සහිත වූ පිත්තල ජෝගුවකට දමනු ලැබූ අතර හැම දිනකම හවස හයට ඒ ජෝගුව ජගන් වෙත ගෙන යන ලදී. ඉන් අනතුරුව නැවත තම අසුන වෙත යන ඔහු රාත්‍රී හතට කඩයේ දොර පලු වසද්දී ඒ පැයේ එකතු වූ මුදල් සහිත වෙනත් කුඩා බඳුනක් ගෙතුලට ගෙන යයි. මේ වෙද්දීත් මුදල් ගණන් කිරීම නො අරඹා ඇති ජගන් තව දුරටත් දේව වාක්‍ය සහිත පොත කියවමින් සිටින්නේය. හිස ඔසවන්නේ නැතිවම වුවත් මුළුතැන්ගෙහි රසකැවිලි බැදීම නැවතුණු බව, උදුනේ ගින්දර නිවද්දී ඇසෙන හඬ, තැටි සහ හැඳි හේදෙන හඬ ඔහුගේ අවධානයට ලක් වේ. ඉනික්බිති කුස්සියේ සිට පාද ජෝඩු හතරකුත්, දවසේ අවසාන ක්‍රියාව ලෙස වෙළඳසැලේ සිට ඉතිරි වූ රසකැවිලි රැගෙන එන එක පාද ජෝඩුවකුත් පැමිණෙන අයුරු ඔහුට ඇසේ.

ඔවුන් සියලුම දෙනා තමන්ගේ මේසය අසල රැස් වී ඇති බව දැනුණු විට ජගන් ඔවුන්ගෙන් සුපුරුදු ප්‍රශ්නය අසන්නේය.

“කොච්චර ඉතුරුද?”

“වැඩිය නැහැ”

“හරියටම කියන්න”

“මයිසොර් පැක් වලින් සියර් දෙකක් විතර”

“ඒවා හෙට විකුනන්න පුළුවන්”

“ජිලෙබි සියර් භාගයයි”

“ඒක හෙටට වැඩක් නැහැ. හරි දැන් යන්න”

කඩයේ කොලුවා ඉතිරි රසකැවිලි තැටි ගෙතුලට ගෙනැවිත් තබා හෙමින් සීරුවේ පිටව ගියේය. එහෙත් කෝකියෝ තවමත් යාමට අවසර ලැබෙන තුරු බලා සිටියහ.

“ජනෙල් ඔක්කොම වහලාද?” ජගන් ඇසුවේය.

“ඔව්”

“හෙට ජිලෙබි හදන්න එපා. මොකද්ද ඒකෙ ප්‍රශ්නේ?”

රසකැවිලි ඉතිරි වීම ඔහුගේ සිතට වධ දෙන කාරණයක් වූ අතර එය හිස් කබල යට ඇනුණු කටුවක් සේ එය ඔහුට කරදරකාරී විය. දවස අවසානයේදී දිලිසෙන හිස් තැටි මුළුතැන්ගෙය වෙත එනු දකින්න ඔහු ප්‍රිය කළේය. ඉනික්බිති මේ ගැන විවිධ අදහස් දැක්වීමක් සිදුවිය.

“දැන් මේ ඉතුරු වුණ ටිකට මොකද කරන්නේ?” ජගන් විමසුවේය.

“මහත්තයා අවසර දෙනවා නම් අපි හෙට අලුත් රසකැවිල්ලක් අත්හදා බලන්නම්. එතකොට ඔය ඉතුරුවා ගැන ප්‍රශ්නයක් නැහැනේ. ඔක්කොම පොඩි කරලා වෙන හැඩයකින් හෙට බදින්න පුළුවන්.”

ප්‍රධාන කෝකියා සුපුරුදු ලෙස නිවුණු හඬින් කීවේය.

“ඔව් ඉතින් අන්තිමේදී හැම දෙයක්ම හදලා තියෙන්නේ පිටියි සීනියි රස කාරකයි වලින් නේ..” ජගන් දාර්ශනික ලෙස කීවේ මෙතෙක් වේලා තමන් නොගෙන සිටීමට තැත් කළ තීරණයට අවසානයේදී එළඹෙමිනි. ආහාර ද්‍රව්‍ය වල මිළ ඉහළ යමින් තිබුණු බැවින් ප්‍රායෝගිකව බලද්දී මෙය ගත යුතු වූ තීරණයක් විය.

තම සේවකයන් නික්ම ගිය පසු ජගන් තම දේව වාක්‍ය පොත පසෙකින් තබා තම මේසයේ ලාච්චුව ඇරියේය. පිත්තල ජෝගුවෙන් ලාච්චුවට කාසි හලද්දී හඬ නොනැඟෙන සේ ඒ තුළ තුවායක් අතුරා තිබිණි. සියුම් කලාවෙහි දක්ෂයෙක් පියානෝවක යතුරු පුවරුව මතින් තම අතැඟිලි ගෙනයන ශෝභාවෙන් ඔහු ඉක්මනින් මේ කාසි ඒවායේ වටිනාකම් අනුව වෙන් කළේය. එකතු වූ මුදල් ප්‍රමාණය වෙත තම බැල්ම රැඳවූ ඔහු පැය කාලක් ඇතුළතදී එහි මුළු වටිනාකම ගණනය කර අවසන් කළේය. සටහන් පොතක සටහනක් යෙදු ඔහු, ඉන් අනතුරුව ඕනෑම අයෙකුට පරීක්ෂා කළ හැකි ලේජරයේ වඩාත් සංකීර්ණ සටහන් කීපයක් යෙදුවේය. ජගන් සිය කුඩා සටහන් පොතේ යෙදුවේ හවස හයෙන් පසුව ලැබී කුඩා ජෝගුවේ තිබුණු ආදායම පමණි. මේ මුදල අන් ආදායමෙන් වියුක්තව, නිදහස්ව පවතින ලෙස ඔහු සැලකුවේය. මෙය එක්තරා ආකාරයකින් ස්වයං ජනිත බවත්, ඒවා බදු ආදියෙන් මුක්තව පැවතීමට සුදුසුකම් ඇති බවත් ඔහු සැලකුවේය. ඉඩ ලැබුණු වහාම මේ කාසි නැවුම් මුදල් නෝට්ටු බවට හරවා, මිටියක් බැඳ සොල්දරයේ නෝබල් මහතාගේ පින්තූරයට පාලු කැපීමට එහි තැන්පත් කෙරෙනු ඇත.

ලාච්චුවේ ඇති කාසි දෙස අවසන් වතාවට බැල්මක් හෙලූ ජගන්, ප්‍රවේසමෙන් ලාච්චුව වසා දැමුවේය. ඉනික්බිති ලාච්චිවේ අල්ලුව හතර වතාවක් ඇද, එය ඇරේවිදැයි පරීක්ෂා කර, ශබ්ද නංවමින් තම පුටුව පසුපසට තල්ලු කළේය. ඉන් අනතුරුව ඔහු දොරට විශාල පිත්තල ඉබ්බෙකු දමා, යතුර කරකවා තම සාක්කුවේ රුවාගත්තේය.

“කැප්ටන්! මේ ඉබ්බා හරියට වැටිලාද බලනවා” ජගන් කී විට කැප්ටන් එය අත් බෝම්බයක් විලසින් දෑතට මැදි කර තදින් අල්ලා ගත්තේ රණකාමී ස්වරූපයෙනි. .

“මේක හොඳ හයිය ඉබ්බෙක් සර්, මේ වගේ ඒවා දැන් හොයාගන්න නැහැ. මම ඉබි යතුරු ගැන හොඳට දන්නවා. මේක ගමක කම්මලක හදන්න ඇත්තේ” මෙලෙස ඉබි යතුරු සහ කම්මල් ආදිය ගැන ඔහු බොහෝ විස්තර කියන්නට ගත් විට ඔහු ට බාධා කළ ජගන්, “හරි, වටපිට ගැන කල්පනාවෙන් ඉන්නවා ” කීවේය.

කැප්ටන් ඔහුට යුධ හමුදාමය සැලියුට් ආචාරයක් දුන් පසු ඒ දවස එලෙසින් නිමා විය.



Nissanka Rajapaksa

unread,
Nov 22, 2023, 6:02:34 PM11/22/23
to INDRAKA group
21
වහල්ලු

මාර්ටින් වික්‍රමසිංහ 
(වහල්ලු කෙටිකතා සංග්‍රහයෙන්)

Nissanka Rajapaksa

unread,
Nov 23, 2023, 3:34:00 PM11/23/23
to INDRAKA group
22
පෝරණුවේ ආදරය....

- මංජුල සේනාරත්න 

මම සේවය කරන අවන් හලේ තිබුණු, අවුරුදු ගානක ඉඳන් පාවිච්චි කරපු පෝරණුව, එහෙම නැත්නම් Oven එක සති කීපයකට කළින් එක  පාරටම වැඩ කරන්නේ නැතුව ගියා. ලෙඩේ බලන්න ආව කාර්මිකයා කිව්වා Il est mort කියලා. ඒ කියන්නේ එයා මැරිලා කියලා.

ප්‍රංශයෙන් පෝරණුවට කියන්නේ Four කියලා. ඒ වගේම Fous කියන්නේ පිස්සුවට. ඒ වගේම Feu කියන්නේ ගින්දරට. මේ වචන තුනම උච්ඡාරණය කරන කොට තියෙන්නේ හිතා ගත නොහැකි අංශුවක  වෙනසක්. ප්‍රංශ භාෂාවේ හැම නාම පදයකටම ලිංග භේදයක් තියනවා. පෝරණුව, එනම් Four කියන්නේ පුරුෂ ලිංගික වචනයක්. ඒත් අවුරුදු ගණනාවක් තිස්සේ මගේ රැකියාවට උදව් කරපු, දහස් ගණනක් කෑම, අතුරුපස හදන්න උදව් කරපු මේ පෝරණුව මම දැක්කේ උදේ රෑ මහන්සි වෙලා රැකියාවක්  කරළා ගෙදර ඇවිත් ගෙදර ඉන්න සැමියා ගේ දරුවන් ගේ කටයුතු ඉටු කරන, ඒ වෙනුවෙන් ස්තුතියක් වත් බලාපොරොත්තු නොවෙන දිරිය කාන්තාවක් විදිහට.

ඇත්තටම අපි එයාට සැළකුවේ ඕනාවට එපාවට. කිසිම ගරු සරුවක් නැතුව. අවුරුදු ගානකින් අලුත්වැඩියාවක් කෙරුවේ නැහැ. දොර ඇරලා වැහුවේ කනට ගහනවා වගේ . සතියකට සැරයක් හෝදන එකවත් හරියට කෙරුවේ නැහැ. සෙනග වැඩි වෙලාවට, කේන්ති ගියාම එයාට අත මිටමොලවලා ගහපු අවස්ථා  එමට තිබුණා. හැම දෙයක්ම අගේ නොකර දෙන අයට, අවංකව තමන්ගේ සේවය කරන අයට, අපි කොහොමත් සළකන්නේ අඩුවෙන්. ඒ වගේ අයගේ අගය අපිට පේන්නේ නැහැ. සමහර වෙලාවට අපි හරි හම්බ කරගෙන කන්නේ කාගෙන්ද, ඒ අය ගැනවත් පොඩි සැළකිල්ලක් අපේ හිත් වල ඇති  වෙන්නේ නැහැ. මමත්, කුස්සියේ අනෙක් රැකියා සගයොත් පරණ පෝරණුවට සැළකුවේ ජීවිත කාලය පුරාම අපිට සේවය කරන්න සැදී පැහැදී ඉන්න වහලෙක් විදිහට. අපි නිකමටවත් හිතුවේ නැහැ එයා අපිව දාලා යයි කියලා. 

මාසෙක කාලේ ඉඳන් එයා නොයෙක් රෝගී ලක්ෂණ පෙන්නුවා. එකපාරටම ලොකු සද්දයක් දැම්ම. සමහර වෙලාවට එක පාරටම වැඩ කරන එක නැවැත්තුවා. ආයේ වැඩ කරන්න පටන් ගත්තා. ටෙම්පරේචර් එක වෙනස් වෙන්න පටන් ගත්තා. කරුමෙකට වගේ අපි හඳුනා ගත්තේ නැහැ එයා ලෙඩ වෙමින් ඉන්නවා කියලා. එහෙම හඳුනා ගත්තා නම් බේතක් කරන්න තිබුණා. අන්තිමේදී සති දෙකකට කළින් සඳුදා දවසක බිසී සර්විස් එකක් වෙලාවේ එකපාරටම හබස් ගාලා එයා අවුරුදු ගාණක් තිස්සේ මගේ රැකියා ජීවිතය බෙදා ගත්ත පෝරණු ගැහැනිය ජීවිතය නිමා කෙරුවා. 
හැම දෙයක්ම බලා කියා ගෙන හිටිය ගැහැනිය අහිමි වෙනවා කියන්නේ ජීවිතයෙන් හරි අඩක් අහිමි වෙනවා වගේ. ඒත් දැන් ගිය දේ ගියා. තියන වැඩ කිසිම දෙයක් ගැහැනියක් නැතුව කර ගන්න බැරි හින්දා අලුත් එකියක් ගේන එක ගැන මම බොස්ට කිව්වා. 

"හෙටම අලුත් එකක් ගන්න ඕනා..." බොස් කිව්වා. 
"එතකොට මේ පරණ එක ..? "
"අලුත් එක ගේන අය පරණ එක අරන් යනවා..."
"අරන් යන්නේ කොහෙද..? "
"කොහේ අරං ගියාම මොකද..? දැන් ඒක ඉවරයි..ඇයි දුකද..?" හිතේ ඇතිවුණු දුක ඇත්තටම මම බොස්ට් කිව්වේ නැහැ. මගේ රැකියා කාලය මා සමග බෙදා ගත්ත, අසීමාන්තික ලෙස මට සහය වුණු , මගේ පඩිය වැඩි කර ගන්න පවා උදව් වුණු පෝරණුව නමැති ගැහැනිය මා හැරදා යන එක හිතේ පොඩි දුකක් ඇති කළ බව ඇත්ත. ඒ දුක වැඩි වුණේ  ඉන්න කාලේ ඒකිට හරියට සළකන්න බැරි වෙච්ච එක ගැන හිතුනාමයි.

අලුත් එකියක් ජෝඩු කරන්න ආපු කපු මහත්තයා කැටලොග් හය හතක් පෙරළාගෙන අලුත් පෝරණු ගැන විස්තර කිව්වා. බොස් නම් ප්‍රශ්න කීපයක් ඇහුවා. කපු මහත්තයා ගේ මුවින් ආපු රබර් පුච්චන ගඳ නිසා මම උත්සාහ කෙරුවේ හැකි තරම් ඈත්වෙලා ඉන්න. 
"යුරෝ 8500 ක් වෙනවා..."
"8500 ක්. හ්ම්ම් කමක් නැහැ. හොඳ බඩුවක් ගන්න හොඳ ලොකු ගානක් ගෙවන්න ඕනා..." බොස් කිව්වේ එහෙමයි.

තවත් දවස් දෙකකට පස්සේ අලුත් එක්කෙනාව ලොකු ලොරියකින් කැන්දාගෙන ආව. මගේ පරණ එක්කෙනාව අරං ගියා. 

අලුත් එක්කෙනා බොහොම හැඩයි. ලස්සනයි. හුරුබුහුටියි. ජිම් ගිහින් ඇඟ හදාගෙන වගේ. පෙනුම දිලිසෙනවා. දිස්නේ දෙනවා. අමුතු සුවඳකුත් එනවා. ස්පර්ෂය හරිම සුමටයි. රෑට නිදා ගන්න කළින් L’Oreal මිඩ් නයිට් ක්‍රීම් ගාලා වගේ. ඇසට ප්‍රියයි. ඔන් කෙරුවට පස්සේ සද්දයක් අහන්නේ නැතිම තරම්. යන්තම් පුංචි කෙඳිරියක් විතරයි ඇහුණේ . 

කාර්මිකයෝ දෙන්නෙක් ඇවිත්  එයාව නිසි තැන තියලා , සියල්ල ප්‍රෝග්රෑම් කරළා, කපු මහත්තයාට කිව්වා අලුත් කෙනාගේ Performance ගැන මට පහදලා දෙන්න කියලා. අලුත් කෙනෙක්ගේ Performance  මම කාලෙකින් දැකලත් තිබුණේ නැති නිසා මටත් ලොකු ඕනා කමක් තිබුණා ඒවා ගැන දැන  ගන්න. ඒත් කපු මහත්තයාගේ මුවින් ආපු Burning Rubber විලවුන් වර්ගයේ සුවඳ නිසා ඒක ටිකක් අමාරු වුණ බව ඇත්ත.

"කීප දෙනෙක් මෙයාව පාවිච්චි කළත් ඔන් කරන්න password එකක් ගහන්න ඕනා. ඒක දැනගන ඉන්න ඕනා එක්කෙනෙක් විතරයි. කපුවා මුල්ම දවසේ කිව්වා."
"අවන් එකකට පාස් වර්ඩ් එකක් මොන මගුලකටද..? මේකේ මගේ රහස් නැහැනේ..."
"එහෙම කියන්න එපා .. අවන් එකක් කියන්නේ ගැහැනියක් වගේ. ගැහැනියකගේ හදවතට හරියාකාරව ඇතුල් වෙන්න පාස් වර්ඩ් එකක් දැන ගන්න ඕනා. දැන් අපි ඔන් කෙරුවා. මුළින්ම ඔයාගේ නම එන්ටර් කරන්න...මොකක්ද ඔයාගේ නම ..?"
"කෙවින්.." මම හුගක් සමීප යාලුවෙකුගේ නමක් කිව්වා 
"හ්ම්ම්..දැන් පාස් වර්ඩ් එකක් දාන්න ..." මම ටිකක් කල්පනා කෙරුවා. දන්න කියන හැමෝගෙම උපන්දින මට අමතක වෙනවා. මගේ උපන් දිනය රැකියා සගයෝ දන්නවා. අන්තිමේදී කොහොමවත් අමතක නොවන 12.12.12 පාස් වර්ඩ් එක විදිහට ගැහුවා. 

දැන් මේ ගෙවෙන්නේ අලුත් එක්කෙනත් එක්ක ගත කරන දෙවන සතිය. එයා මාරයි.   

දවස් දෙකකට පස්සේ කෙවින් කියන එක අයින් කරළා මම මංජුල කියන නම දාගත්තා. උදේට ඇවිත් ON කරපු ගමන් එයා BONJOUR KEVIN කියනවා අහන්න මම කැමති වුණේ නැති නිසා. 

අලුත් එක්කෙනා හරිම කාර්යක්ෂමයි. එයාවයි මාවයි app එකකින් Connect වෙලා තියනවා. මම නැති වෙලාවට කවුරු හරි අනවශ්‍ය විදිහට එයාව පරිහරණය කරන්න හැදුවොත් මගේ ජංගමය "ක්‍රීක් " ගානවා.  හැම  දෙයක්ම ප්‍රෝග්රෑම් කරළා තියන නිසා කිසිම දෙයක් අමුතුවෙන් කියන්න ඕනා නැහැ . එයා හොඳට දන්නවා කළ යුත්තේ මොකක්ද කියලා. 

සමහර වෙලාවට අවන් එකේ මුකුත් නැතුව ON කරළා තියනවා නම්, එයාම හිතලා OFF වෙනවා. දොර ඇරියාම ආයේ ON වෙනවා. කෑමක් හදන්න විනාඩි 40 ක් දැම්මොත් ඒ විනාඩි 40 ඉවර වෙනකොට මම ළඟ හිටියේ නැත්තම් මගේ මොබයිල් එක "ක්‍රීක් " ගානවා. එන්න ඇවිත් දොර අරින්න කියලා මැසේජ් එකක් එයා එවනවා. හරියට ඔයා කොහෙද ඉන්නේ අහනවා වගේ. 

හොඳම දේ තමයි බොත්තමක් තද කෙරුවාම එයා තනියම හෝද ගන්න එක. තනියම පිරිසිදු වෙනවා කියන්නේ මොන තරම් දෙයක්ද..?  
There is no such thing as a self-cleaning oven කියලා කතාවක් තියෙන්නේ නිකමට නෙමෙයි නේ. 

දැන් අපි අලුත් එක්කෙනාට සළකන්නේ බොහොම ආදරෙන්. කේන්ති ගියාම ගහන්නේ නැහැ. දොර වහන්නේ හෙමින්. එයාට රිදෙයි කියලා බයයි. මගේ සගයෝ වැඩ නැති සමහර  වෙලාවට එයා දිහා බලා ඉන්නවා. එයාගේ ඇතුලේ වෙන දේවල් එළියේ ඉන්න අපිට පේනවා. එයා විනිවිද පේන චරිතයක්. ඒ එක්කම Performance නම් කියලා වැඩක් . ක්ෂේත්‍රයේ හොඳ අත්දැකීම් තියනවා කියලා නම් පේනවා. 

ඒත් ඊයේ උදේ කාලයේ එයා පොඩි පාට් එකක් දැම්මා. එක පාරට සද්දයක් දාලා නැවතුනා. මොනවට හරි කේන්ති ගියා වගේ. බොහොම අමාරුවෙන් බොත්තම් ඔබලා තමයි ආයේ යාළු කර ගත්තේ. ළඟට ඇවිල්ලා පොඩි කාලයක් යද්දී, ඒ වගේම බොහොම හොඳට සළකද්දීත් මෙහෙම පුස් පාට් දාන්න එනවා නම් ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැහැ කියලා මම බොස්ට කිව්වා.
"එහෙම තමයි අද කාලේ බඩු .. ලස්සනට ඉන්නවා. ඒත් ඉක්මනට නරක්  වෙනවා. කොච්චර හොඳට සැළකුවත් සත පහකට මායිම් කරන්නේ නැහැ ..." ඒ තමයි බොස් ගේ අදහස. ඒ අදහසට මමත් එකඟයි . ඒත් එයාට බඩුව කියන එකට මම කැමති වුනේ නැහැ .

Nimal W Kanattawatte

unread,
Nov 24, 2023, 1:03:35 AM11/24/23
to ind...@googlegroups.com
Machan, Nissanka,
I remember THE MALGUDI DAWASA, the Tele Series telecasted about 30 yrs ago in ITN or Rupa Vahini, based on RK Narayan's Malgudi days. This Story is also one of the stories, but there were 2 or 3 episodes  for this "Rasa Kavili Velenda". His son went abroad and he had no second generation to look after and continue his business. The same disaster, facing the older generation in India and here in our country too.
Nice Story anyway, thanks Nissanka. I read stories ,which you forward here, but wanted no comments to write previously. But this one brought me back to my younger days and wanted to comment something anyway. 
Regards, Kanatte.

--

---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/indraka/CAFRcW-K2A6ZeRAKsnZCpy9hZXy7CL4BJOctF07ZM7kA%3DTZq9og%40mail.gmail.com.

Nissanka Rajapaksa

unread,
Nov 24, 2023, 5:52:41 PM11/24/23
to INDRAKA group
23

ඕ නගරයට පැමිණියාය‍.

කේ කේ සමන් කුමාරගේ  
දෙවන කෙටිකතා සංග්‍රහය වන "එසඳ මම බලා සිටියෙමි (1995)" කෘතියෙන් 

ප්ලොරසන්ට් පහන දෙකොනෙහි පන ගැහෙමින් තිබිණි. ඒ සීතල එළියේ ඈ විලි පහරමින් උන්නාය. ගැබ දරා සිටියාටත් වඩා විලි පැහැරූ කාලය දිගින් වැඩිය. මේ මොහොත වන විට ඈ විලි පහකරමින් සඳින් සඳ ගෙවා හිරු රාශියක ඉක්මවන්නට ද ළඟය.


කිහිප වතාවක් ඇගේ මේ අරුම පුදුම ගැබ පලා බලන්නට දොස්තරලා කුහුලින් යුතු වුවත් ඒ හැම විටකම තවත් අරුම පුදුම යමක් සිදුවිය.


ඔන්න නිර්වින්දන බේත අහන්නෙ නැතිව ගියා මුලින්ම. චුට්ටක් එහෙට වුනොත් සදාතනිකව සියළු වේදනයන්ගෙන් මුදා හරින තරම් බලගතු ඒ බේත දහ ගුණයකටත් වැඩියෙන් විද්දහම තමයි ඇහැව්වෙ. ඊට පස්සේ අතට ගන්න කොට ඇස් නිලංකාර වෙන ගානට දිස්නෙ ගහපු සැත්කටු ඇගෙ නැඹට පහළින් යොමු වෙද්දි මලකඩ වලින් බරිත වෙලා ගියා. තත්පර ගානකට කලින් ජීවානුහරණය කරපු කතුරු අක්‍ෂු බක්‍ෂු විදගෙන පනුවො එකා දෙන්නා එළියට ඇවිත් එවායේ කෑල්ලක්කත් ඉතුරු නොවී එහෙමිපිටින්ම පනුකූඩු වෙලා සර සර ගාල බිමට හැළුනා. ඉතින් ඔය විදියට එ වැඬේ අත් ඇරලා දාන්න උනා.


අන්තිමේ රෝහල ඇතුලෙයි, ඒ අවටයි තියන සේරම බන්ධන අඩස්සි නිදහස් කරන්න වෛද්‍යවරු තීරණේ කළා. ගෙවල්වල දොර ජනෙල් ඇරලා දැම්මා. අල්මාරි, පෙට්ටගම්, සෙප්පුවල පියන් ලාච්චු ඇරලා දැම්මා. කුස්සිවල හට්ටි මුට්ටි ඇරල දැම්මා. බාල්දි වලින් කඹ පොටවල් ලිහල දැම්මා.


සංඝරත්නය වැඩමවා අංගුලිමාලය කිව්වා. කෝලංකාරයො ගෙනල්ල බඩදරු කෝලම නැටෙව්වා. කෝලම්කාරය සබේ පිරිම්න්ට බඩෙන් ගගහ එලවනකොට අපේ ආතුරයා හිනාවෙවී අත්පුඩි ගැහැව්වා.


මේ සේරම අහවර වුනාත් ඈ විලි පහකරමින් උන්නා. අන්තිමේ දොස්තරලා කිව්වා ඇගෙ බඩේ ගෙඩියක් කියල. කියල කට ගන්න කලින් ඇගෙ රහසඟ දෙතොල් විවට කරගෙන ජල පටලය විනි විදගෙන කෙහෙ රොදක් පේන්න නොපෙනෙන්න ගත්තා. වදන වාට්ටුව දෙදරන්න ගත්තා. ඈ එල්ලී හුන් විලි රෑන කඩන් වැටෙන්න ඔන්න මෙන්න කියලා හිතෙන තරං වුනා. ඒ අස්සෙ තමයි ඊළඟ අරුම පුදුම දේ සිද්ධ වෙන්න ගත්තෙ. විලි රෑන කෙමෙන් දැඩි වෙමින් නොවෙමින්, තත්පරෙන් පංගුවෙන් පංගුව ගෙවෙමින් නොගෙවෙමින්, කියන්න හැකි නොහැකි රූප අරූප කාල අකාල විපිරියාස වෙලා යෝධ අංග ජාතයක් ඉතිරි වුණා. ඈ අපුලින් අත් අත හැරිය. එත් අත ඇරුනෙ නැති වුනාම අත් ගසා දම්මා. ඒත් දෑඟිලි ඒ වටා අඩස්සි වෙලා තිබුණා. බියෙන් ඈ ඇකිලෙන පැකිලෙන සැණෙහි ඒ අංග ජාතය කෙලවරින් තවත් දික්වෙමින් සර්පයෙක් වගේ ඉව අල්ලමින් ඇගෙ දෙතොලෙහි දැවටුනා. අම්මගෙන් බිවු කිරි කලෙ ඉඳන් උගුරෙන් පහළ ගිය හැම දේම ඈට ඔක්කාරෙට ආවා. ඒ අව් අස්සෙ අංග ජාතය පුරුක් ඇදෙමින් දික්වෙමින් පහළ බැස ඇගෙ පියවුරු තුඩු වල දැවටීගෙන ගොස් දෙකලවා වටා දරණලා ගත්තා.


විලි රෑනේ එල්ලී හෑල්ලු නොවු කුසින්ම ඈ ඇගේ ආත්මය මුදා හැරියා තමන්ගෙ මළ කඳට අයිති කාරයෙක් හොයන් එන්න. තාර පාර දෙපැත්තෙ යෝධ අංග ජාතයන් මුදුනෙන් මෝචනය වුණු එළිය දිගේ ඈ ඇවිද්දා. අහසත් පොළවත් රති කෙළියෙ යෙදිල හඳ එළිය මෝචනය වෙන රෑ සියක් ගෙවමින් ඈ හෙව්වා.


මේ අතරෙ නගර සභාවෙන්, ඒ වෙනකොටත් විලි පහකරමින් තිබ්බ ඇගෙ මළ කඳ කබරයන්ගෙන් ඈත් කළා. ඉළුක් කොලයක් හොයාගන්න බැරි වෙච්ච නිසා අගේ බඩ පලා ඈව කුසින් හෑල්ලු කරන්න ඔහුන්ට පුළුවන් වුනේ නෑ. මුළු මහත් නගරයේම ඉතිහාසය වෙනස් කළ මේ කතාව මා ලියා අවසන් කරතත් එහි මුල්ම ජේදය ලිවුවෙ කවුරුත් නම් ගම් නොදන්න නගර සභාවෙ කසල ශෝධකයො දෙන්නෙක්.


එක්තරා රැයක නගරයෙ අස්සක් මුල්ලක් නෑර තිබු සියළු කොඩි ගස් මුලින් සිඳ දමා තිබුණා. සිඳ දමා තිබූ තැන් වලින් ලේ වෑහුනා. ආයි හයි කරපු හැම වතාවකම ඒ දේම නැවත නැවතත් සිද්ධ වුණා.


රාත‍්‍රියට සුදු ඇඳගත් ගැහැනියක්ව තනි මං ආ පිරිමින්ව නවත්වා දරුවකු අතට දී අතුරුදහන් වුණා. මේ විදියට ලැබිච්ච දරුවෙක් නැති ගෙදරක් හොයා ගන්න බැරුව ගියා. හැමදාමත් තුන්වෙනි යාමෙට අද්භූත සතෙක්ගෙ ලතෝනියක් ඇහෙන්න ගත්තා ඔය අතරෙ. ගමෙන් නගරෙට ආපු වයසක උදවිය ගමේ හුරු පුරුදු සද්දයක් ඇහීමෙන් උද්දාම වුණා. ඒ අයගෙ ලොඹු කටවල් වලට කාලෙකින් පන ඇවිත් කෙලවරක් නැති කතාන්දර දෙසා බාන්න ගත්තා.


බට නලා පිඹ පිඹ හිටපු සංගිතකාරයන්ව හමුවෙන්න මෝහිනී ආපු කතා වලින් පත්තර පිරිලා ගියා. සුදු දුහුල් සළු ඇඳගත්, බටහිර නිල් චිත‍්‍රටියක තරං සුන්දර ගැහැනියක් ඇවිත් ඒ වැයුමට රැඟු බවත්, ඒ රංගනය පරප‍්‍රාප්තියට යද්දි තමාට වයන්න නොහැකි වු බවත්, එවිට තමාට පිටුපෑ බවත්, ඇගේ පිට පෙදෙසේ බරු ගැසූ වේ කුහරක් මෙන් සුඹුළුයෙන් යුතු නොයුතු බවත්, නැත්තං තමන්ව කැඳවාගෙන සොහොන් බිමකට ගොස් මිනී වලක් හාරා එහි වු අතුනු බහන් සියොලඟ ඔතාගෙන ආ බව, එසේත් නැත්නම් තවමත් පන ගැහෙන ලේ වෑහෙන මිනී මස් රන් බන්දෙසියක තබාගෙන වුත් පිළිගැන්වු බව හැමෝම කිව්වා.


එක එක ගාලු මුවදොර මුහුදට මානලා තියෙන කාල තුවක්කු ඒවායෙ බට මුලින්ම සිඳ දාල තිබ්බා. ඒවායෙන් වෑහිච්ච ලේ වලින් මුහුදෙ වතුර රතු පාට වෙමින් තිබුණා. වෙරළ අයිනෙ මිනී මෝරු පෙම් කෙලියා‍.


පදමට දාල බස්එක වැරදිච්ච පරණ වෘත්තිය සමිතිකාරයෙක් පාර දිගේ එමින් හිටිය. පස්සෙන් එක සීරුවට සද්දක් ඇහුණු නිසා ඔහු හැරිලා බැලුවා. පිදුරු මුට්ටයක් තමන්ට චුට්ටක් එහෑන් වැටිලා තියනවා ඔහු දැක්කා. පිදුරු මුට්ටෙට ඔලුව ගහන් ඔහේ නින්දක් දාල, ඇහැරුනාම මෙහෙම්ම වැඩට යනවා කියලා හිතල ළඟට යනකොට පිදුරු මුට්ටෙ එහෙට පෙරලුනා. එතන ඉදලා තමන් ආපු පාර දිගේ පිදුරු ගස් වැටිලා තියෙනව ඔහු දැක්කා. තිත්ත කුණු හරපයක් කියල ඔහු පිදුරු මුට්ටෙට පයින් ඇන්නා. එතකොටම අන්නාසි ගෙඩියක් පිටේ ඇතිල්ලෙනවා වගේ දැනුනා. ඔහු හැරෙන්න හැදුවත් කබැල්ලෑවෙක් වගේ යෝධ සතෙක්ගෙ අත් පා වල අඩංගුවට ඔහු අසුවුනා‍. උපන්තෙක්ට බීපු සේරම කකුල් අස්සෙන් වෑසෙන්න ගත්ත.


තමන්ගෙ කකුල් දෙක අස්සෙන් තමාව අල්ලන් ඉන්න මොකාගෙ හරි වල්ගෙ වක ගැහිලා එල්ලිල තිබුණ. ඒ වක ගැහිච්ච වල්ගෙ දිගෑ බලල ඔහු හිතුවා...


"මූ තලගොයෙක් වෙන්න ඕනෙ. !!!.ම්......ම්! කිලෝ කීයක් ඇද්ද?......... තලගොයෙක්! රුසියාවට චෙච්ච දෙයි හැටියට ඕක මොකක් ද?....... මූ තල ගොයෙක්! ?...... මූ තල ගොයෙක්!... බයිට් එකට නං නියමයි. .... තලයගෙ දිව හොදයි අහල පහල පුංච් උන්ට කන්න දෙන්න."


ඔහු තලයව පිටේ තියාගෙන හති දදා වුනත් සන්තෝසෙන් සිංදුවක් කිය කිය කඩතොල්ලන් චෙච්ච කියත් දැති රටාවකට පාර පුරා ගෙදර ගියා. මගදි තලගෙ නැට්ට දණිස් දෙකේ වැදෙන හින්දා ඔහු පාත් වෙලා බැලුව. එතකොට නැට්ට කොළ පාට වෙලා තිබුණා.


තැබෑරුංකාරය අත්තන දාල කියල යටි හිතින් බැන බැන ආපහු ගමන පටන් ගත්තා. මගදි තමන්ගෙ දැං කිසිම වැඩක් පලක් ගන්නෙ නැති අවයවේ වටේ මොකක් ද පැටලෙනවා දැනිලා ඔහු පහත් වෙලා බැලුවා. එතකොට ඔහු දැක්කෙ තලයගෙ නැට්ට රතුම රතු පාට වෙලා ඒකෙන් තමන්ගෙ අංග ජාතෙ වටේ ගැටයක් වැටීගෙන යනව. ඔහුට තමන්ගෙ මධු සමය මතක් වෙන්න වගේ ආවත් එතකොටම පිටේ තිබ්බ ග‍්‍රහණයත් බරත් නිදහස් වුණා. ඊට පස්සේ වෙච්ච කිසි දෙයක් ඔහුට මතක නෑ. පාන්දර බිරිඳ දොර අරිද්දි අතේ ගුලි කරගත්තු අංග ජාතයක් එක්ක ඔහු දොර කඩ වැටිලා හිට්යා.


බිරිඳ "තුහ් නොදකින්" ළමයි නැගිටල එන්න කලින් අංග ජාතෙ කෝටු කෑලි දෙකකින් ඇදල අරන් බලු පොව්වා ළඟට තල්ලු කළා. ඌ ඒක බස ගාල ගිලල දාල අතෘප්තියෙන් දොරකඩ දිහෑ බැලුවෙ හප හපා ඉන්න මස් කට්ටක් ලැබේදෝ කියලා.


වෙනදට නිතර දකින්න නැති එකේක මෝස්තරේ කටුස්සො කොල්ලෝ කුරුට්ටන්ගෙ සෙල්ලමක් වෙන තරං වසංගතයක් වුනා. කොල්ලො උන්ගෙ නැට්ටෙන් අල්ලල කරකල උඩ විසි කළා. මේ සෙල්ලමෙන් පරෙයියන්ට යන එන අතක් නැති වුණා. කටුස්සන් මරා දැමීමට විරුද්ධව වයසක උදවිය කොච්චර දේවල් කිව්වත් ඇන්ටෙනා උඩ රැස්වීම් තිය තිය හිටපු කටුස්සන්ව බිම වට්ටවලා ගල් වලින් තලා දාන එක රස්සා නැතුව හිටි තරුණයන්ගෙ රස්සාවක් වුණා. ඒත් හැම ලේ පැල්ලමකටම හත් දෙනා ගානෙ, උන්ගෙ ලේ පැල්ලම් වලට තව හත්දෙනා හත්දෙනා ගානේ කටුස්සෝ උපන්නා. උන්ගෙන් ඇන්ටෙනා වැහිල ගිහින් රූපවාහීනි විකාශනය අපහැදිලි වූණා. මුර කාවලට වැට්ච්ච පොලිස් භටයෙක් ඒ භයංකාර සද්දෙ ආ අතට වෙඩි තිබ්බා. පහු වෙන්දා හොයන් ගියාම ඒ අහ කටුස්සෙක් මැරිලා උන්නා‍.


මපට් කණ්ඩායම් නා නා ප‍්‍රකාර කටුස්සන්ගෙ මපට් හදාගෙන වීදිවල සංදර්ශන පැවැත්තුවා. වයසක උදවිය කියන මිත්‍යා කතන්දර මේවායින් නිරූපනය වුණා.


කෙල්ලන් වලලන්
කොල්ලන් ගොඩගන්


කියන සලාද සිංදුව කොච්චර ජනප‍්‍රිය වුනාද කිව්වොත් කටුස්සන්ගෙ නැට්ටෙන් කරකවල උඩ අරින කොල්ලො එවලෙට කිව්වෙත් ඒක.


සෙල්ලං බත් උය උය ඉන්නකොට දිව දික්කලැයි කියලා අක්කෙක් මලයගෙ දිව කඩා දාල. ඒත් බිම වැටිලා තිබ්බෙ ජුන්ඩෙක්. දිවෙන් ලේ බේරෙනව. දෝස්තර ජංගිය පාත්කරල බැලුවා. කොලුවගෙ නම නොකියන තැන මොකුත්ම නෑ. කෙල්ලව මග්ගොනට යවන්න තීරණේ වුණා. ගෙනියන්න හදද්දි කෙල්ල මල්ලි ළඟට ඇවිත් ගවුම උස්සල පාල හු හු කිව්වා. කෙල්ලගෙ නම නොකියන තැන ජුන්ඩෙක් ඉන්නවා කොලුව දැක්කා එතකොට.


නගරෙ උන්නු පිරිමි අපි හැමෝටම මහ නරක දසාවක් ලැබුවා. ගබ්සාවෙන් පස්සෙ මාස කිහිපයක ලිංගික තහංචියක් තියන නිසා අන්තිම මොහොතෙ සතුටක් ලබාදිම යුතුකමක් හැටියට කළ දෝස්තරලා ගෙන් , පෝලිමේ ඉන්න ලෙඩුන්ගෙ නොම්මර කියෝන එක විනෝදයක් කරගත්ත ගෑනු වාට්ටුවල පුහුණුවට වැට්ච්ච වෛද්‍ය ශිෂ්‍යයන්ගෙන්, ඇඟලුම් කම්හල් ළගින් හැන්දෑවට ජුන්ඩො එළියෙ දාන් එහෙට මෙහෙට යනවුන්ගෙන්, මිනී එම්බාන් කරන්නන් ගෙන් පටන්ගත්ත මේ නම නොකියන එක අතුරුදහන් වීම තොටිල්ලෙ ඉන්න පොඩි එකාගෙන් අහවර වේවි කියල අපිට හිතුන.


රබර් මිශ‍්‍රිත පුරුෂ ලිංග නිෂ්පාදනයට මේ අතරෙ සමාගමක් ඉදිරිපත් වුණා. කම්කරුවන්ට වඩා සමාගමට මෝස්තර නිර්මාණ ශිල්පියෝ අවශ්‍ය වුණා වෙනස් වෙනස් රුචිකත්වයන් සපුරන්න. නගර ශෝභනීන්ට බඩ වියත රැක ගන්න විදියක් නැතුව ගිහින් ඔහුන් හිඟමනට බැස්සා‍. වයසක මහල්ලොත් කිසිම වැඩක් නැති වුණත් තමන්ගෙ ජුන්ඩො පරිස්සම් කරගන්න උත්සාහ කළේ තමන්ගෙ ජිවිතේ අතීත සැමරුම් සේරම ජුන්ඩගෙ සටහන් වෙලා වගේ.


අපේ ගෑණු අපිට හෑන්දෑවේ එළියට බහින්නවත් දුන්නෙ නෑ. සාලෙ කාමරේ තියා කකුස්සියෙවත් තනියෙන් ඉන්න දුන්නේ නෑ. මං ගැන කිව්වොත් මං ගෙදර ආපු ගමන් ගෑණි මගේ කලිසම පාත්කරලා ජුන්ඩ තියනවද බලල තමයි හුස්ම පිතට දැම්මෙ. මේ වෙනකොට හැමෝම බෝදිලියා , බෝදිලිමා කිය කියා තොරක් නැති නම් ගම් කිව්වා. ජිවිතේට ඉලපතක් දැකලවත් නැති මගෙ ගෑණි ඉලපතක් හදල පරිස්සමට තියලා තිබ්බා. ඒත් කවදාවත් ඒකෙන් අතූගෑවෙනං නෑ දවසක් මට ඒකෙ හොරේ අහුවුනා. වෙනදට කොණ්ඩෙ හැඩ කර කර සැපට වාඩි වෙලා චු කරපු එකී පිළිකන්නට ගිහින් ඉලපත බිමින් තියල, ගවුම කරට අරන් බිම වාඩි වුණා. චු බේරි බේරි ඉලපත අරන් දොර මුල්ලෙන් තිබිබා. ජාමේට බෝදිලිමා ඇඩුවා. ඈ ගිහින් ඉලපත අරන් අයි එකට චූ කරල, දෙතුන් විඩේට දාපු මැහුං ටික පේන්න රෙද්ද කඩලා එතෙන්ට ටෝච් එකකුත් ගහන් එක අතකින් , තෝරතෝංචියක් නැතුව මොනවද කියන් ගියා. මං ළඟට කිට්ටු වුණා. පුක, තනේ , බි–ජ කියලවත් කියා ගන්න බැරුව හිටපු උපාසකී මෙන්න මං වත් නොදන්න , කුණු හරුපයි කියල ඒ ගොල්ලො කියන ඒව තොරක් නැතුව කියෝන කියෝන ගියා. ඊට පස්සේ ඉලපත දොර මුල්ලෙ හේත්තු කරල දොර වහමින් කිව්වා!!!.


"උන්දෑ දිව්වා දිවිල්ලක් ආයි පළාතෙ එන එකක් නෑ"


දවසක් ගෑණි මගෙන් ඇහුවා මං බෝදිලිමව බලන්න ආසද කියල. මං පැන්න ගමන් ඔව් කිව්වා. ඉතින් එයා බුලත් කොළ ටිකකුයි පොල් තෙල් පානකුයි කණ්ඩියක් උඩින් තිබ්බා. බලන් ඉඳල බලන් ඉඳල කළුවරේ, පොල් තෙල් පානෙ එළියෙන් අපි දැක්කා බඩ දරුවන් ගෑණියෙක් හෙලු වැල්ලෙන්, කෙඳිරි ගාගෙන, බඩ ගාගෙන එනව. දාඩියෙන් තෙත බරි වෙලා තිබ්බ තරමට පොල් තෙල් පාන නුනත් අහසෙ තරු නුනත් ඈව දකින්න තිබ්බා. ඇගෙ කොන්ඩෙ හැඩ ගෙතිල, මූනට වැටිල. ඒ හැඩපලු වලින් මූන පුරා හෙවනැලි එක්ක හැලෙමින් , පද්දාවැටෙමින් තිබුණා. ඈ බුලත් කොළයක් අරන් ඒකෙ පොල් තෙල් තවරාන දැල්ලට අල්ලලා රත් කළා. එහෙම කර කර ඈ බඩ තවා ගන්න වුණා. මම කිව්වා අපි ඈට උදව් වෙමුයි කියල. ගෑණි අර ඉලපත අරන් මගෙ මුනෙ අතුල්ලල පිටට දෙකක් ගැහුව්වා. එදායින් මෙදායින් මං අපේ ගෑණිත් එක්ක බෝදිලියා ගැන වචනයක්කත් කතා කරතන්න ගියේ නෑ.


සත්වවේදින් මේ අරුම පුදුම අවතාර සතා පිළිබද එකේක මත පල කළා. අපට මහා රාත‍්‍රියට ඇසෙන මේ හඬ උකුසු පවුලේ සතෙකුගේ බවත් ඔවුන් කිව්වා. මේ මිත්‍යවන් නිසා කටුස්සන් වදවිමේ තර්ජනයට මුහුණ පානු ඇතැයි ඔහුන් සඳහන් කළා. ගුවන් විදුලි නිවේදකයකු ඇසූ හරස් ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් එම කණ්ඩායමේ නායකයා කීවේ දැනට මිනිසෙකු ග‍්‍රහණය කර ගත හැකි තරම් විශාල කටුසු වර්ග ජිවත් නොවන බවයි. ඔවුන් කියන දෙවල් කවුරුත් ගණන් ගත්තෙ නෑ. හැමෝම ඇහුන්කන් දුන්නෙ මෙච්චර කල් මායිං නොකරපු වයසක උදවියගෙ දැනමුතුකම්වලට. බෝදිලිමා පිටේ එල්ලුනොත් කමිසය ගලවා දැමිය යුතුබව මාත් තදින්ම සිතට ගත්තා ඔවුන් කිව්වාහම.


මේ අතරෙ බෝදිලිමාගෙ කතන්දරෙන් චිත‍්‍රපට කීපයක් පෝලිමට එක්වුණා. මල්වතුවල චිත‍්‍රපටි කරපු කට්ටිය ත‍්‍රාසජනක චිත‍්‍රපට කරන්න අද්භූත දර්ශන තල හොය හොයා ඇවිද්දා. එයින් දැනට ප‍්‍රදර්ශනය වුණේ එක් චිත‍්‍රපටයක් වුනත් එන සියලුම ආදායම් වර්තා බිඳ හෙලුවා. කොටින්ම මේ ලියන මාත් බෝදිලිමට රඟපාන නිළියගෙ හෙලුවැල්ල බලාගන්නම හය හත් වතාවක්ම ඒ චිත‍්‍රපටිය බැලුවා. මේ චිත‍්‍රපටිවලට දක්ෂකම් පෑවෙ ගමෙන් නගරෙට ආපු දක්ෂ ගොල්ලො.


අර ප‍්‍රදර්ශනය වෙච්ච චිත‍්‍රපටිය පටන් ගත්තෙ උන හපුලුවෙක්- වවුලෙක් වගේ සතෙක් මහ රෑක ගහක එල්ලිල ඉන්න රූප රාමුවකින්. උගෙ දිව අර දිවෙන් කූඹි දඩයං කරන සතාගෙ තරං දිගයි. ඒ දිවෙන් කෙල වැක්කෙරෙනව. ඒ කෙල නිල් පාට පෙන කැටිති වගේ බිමට වැටෙනව. එතකොට එතනින් දුමක් නැගිල ඒ කෙල රතු පාට වෙනව. ඒ ලේ පැල්ලමෙන් කටුස්සො හත් දෙනෙක් උපදිනවා. එත් චිත‍්‍ර පටියෙ හුඟක් සිදුවීම් වගේම ඒකත් කතාවට කිසිම සම්බන්ධයක් නෑ. කතාව තියෙන්නෙ කොහෙද ගම් පළාතක බෝදිලිමා ගැන කියන ඒකක්. චිත‍්‍ර පටි තහනම් කරන්න කියලා කෑ ගහපු උදවිය ජන කතාව විකෘති කළා කියල කිව්වා මං නං ඒකට කැමතියි.


ඔන්න දේවාලයක් දාගෙන කපු ගෑනු කෙනෙක් ඉන්නව. ගෑණි හරි ලස්සනයි. දවසක් ගෑණි දෙව් පිළිමෙ ඉස්සරහට ගිහින් තිරෙ ඇරල පුජාසනේ උඩ නැඟලා ඇඳුං ගලෝල බිමට දානව. මේ අතරෙ පිළිමෙ සලුත් එකින් එක ගලවන් හැලෙනව. පිළිමෙට පන එනව. ඉතින් දෙන්න පුජාසනේ උඩ සංසර්ගයේ යෙදෙනවා. එදා ඉදන් හැමදාම හැම වෙලේම මේ ගෑණි දෙවියන් එක්ක සංසර්ගයේ යෙදෙවව.


අන්තිමේ මිනිස්සුන්ගෙ පුජාවලට වෙලා නැති නිසා දේවාලෙත් වහලා දානව. ගෑණි බඩ දරුවන් වෙනව. බඩ දරුවන් වෙලා ටික දවසකින් දෙවියො අතුරුදහන් වෙලා පිළිමෙ විතරක් ඉතුරු වෙනව. මේ ගෑණි තිඹිරි ගෙදර විලි පහරන ගමන් දෙයියන්ට සාප කරනවා අංග ජාතෙ කඩන් කනවා කියල. දායම්මා ආවතේව නවත්වල ගේ ඉස්සරහින් යන ගෑණු කෙනෙක්ට කියනව. පස්සෙ ගමේම මිනිස්සු ගල් මුගුරු අරගෙන ඇවිත් විලි පහරමින් ඉන්න ගෑණිව මරල වල දානව. ඊට පස්සෙ ගෑණි බෝදිලිමෙක් වෙනව.


චිත‍්‍රපටි කතාවෙ ඇත්ත නැත්ත කොහොම වෙතා තාමත් අංග ජාතෙ ඉතුරු වෙලා තිබ්බ, කොළ කැද මදන මෝදක පිහිට පැතුව අයත් ඇතුළු හැමෝගෙම ජිවිතවලට ඒක අමුතු ප‍්‍රබෝධයක් ගෙනාවා. බොහෝ පවුල් නගරය හැර යන්න ගියත් නගරයේ බොහෝ හොඳ දේවල් ටිකකුත් සිද්ධ වුණා මේ බෝදිලිමගෙ ආගමනයෙන්. එකක් බස්වල ගෑණුන්ට කරදරයක් නැතුව හිටන් යන්න පුලුවන් වුණා. සීට්වල බූරු ඇඳන් දිග ඇරන් ගිය කට්ටිය ඒ ජුන්ඩ කෙලින් කරල පෙන්නන ඉරියව්වෙන් අයින් වුණා.


සේරටම වැඩියෙන් කසාද බදිනකං කොල්ලො කෙල්ලන්ට නම නොකියන එක බලන්න තිබ්බ තහංචිය නැත්තට නැතිවෙලා ගියා. හැම අම්මා කෙනෙක්ම දුවට කිව්වෙ යාලුවෙච්ච කොල්ලගෙ ජුන්ඩ තියෙනවද කියල බලන්න හම්බවෙන හැමදාකම වරද්දන්න නං එපා කියල. ඉතින් කොල්ලො ජුන්ඩ පෙන්නුවෙ නෑ කෙල්ලො පෙන්නන කං.


මෙච්චර දේවල් වුනත් නගරෙ එක පිරිමියෙක්වත් හොයා ගන්න බැරුව ගියා ජුන්ඩ නැති වෙච්ච. ඒ කතාව හැමෝම දන්න රහසක් බවට පත්වුණා. හෝල් එකක් හෝල් එකක් නෑර, පල්ලියෙ මංගල්ලෙ උස්සන ආචාරීන්ගෙ රෝගෙත් තාම එහෙම්මම තමා. ඒක හරියන්න නං ජුන්ඩ මුදුනේ වෙඩික්කාරයෙක්ට ඉලක්ක වෙචිච කොකෙක්ම වහන්න ඕනෙයි කියලමයි මං කියන්නෙ.


ඉදල හිටල ඔෆිස් එකෙ කරන්න දෙයක් නැති වේචිච දවසට මං කළේ නගරයේ තැන තැන ඇවිදිමින් මුලින් සිඳ දමා තිබෙන තැන, ආකාරය, කොඩිය ජාතික කොඩියක්ද, මොන ආගමේද, මොන පක්ෂෙද, දකුණෙද, වමේ ද, වමේ නං මොන පිලේ ද යනා දී වශයෙන්.


මෙහෙම යන අතරෙ දවසක් මම දැක්කා ජාතික විරයෙක්ගෙ පිළිමයක් යට ඉන්නවා ගෑණියෙක්. ඈ විලි රුදායෙන් දඟලමින් සාප කළා. ඈ සාප කළේ ඒ කපුටන් පැහැරූ පිළිමයට සාදලමියි අංග ජාතය. ගිනි දවාලක දෙනෝ දහක් යනෙන මග, වතුර මලින් විභූෂණය වුණු වට රවුමකට මුහුණ ලා ගෑණියක් විලි පැහැරුවා. ඒත් නැත්තං මිනිසුන් අතැර ගිය නගරයක සොහොන් ගලක් උඩ උන්නා ගෑණියක් වදාගන්න බැරුව.


ඒ කාල යාත‍්‍රාවෙහිම එපුර කොනෙක සල පතල මලුවෙක, අතුල සුදු වැලි ද වගුල බෝ පත්ද කිඳා ගිය මෝල් ගසෙක මුදුනට කටුස්සකු රූටෑවා. මෝල් තොලංග, අලෙවි කළ මතුල තෙල් සුඟෙහි වට මද්දහන් අව් කාස්ටකයෙන් තොංගල දිදුලෑවා. කටුස්සගෙ හිස මත වු හැන්දෙන් එ පුර වැස්සන්ගේ ඇස් ගෙඩි නිලංකාර වුනා. අව් කූටයට ඒ ගිනියං වෙද්දි ඌ නැගූ අම්මො’යි හඬ නගර ප‍්‍රකාරය ඇතුලස්සෙ දෝංකාර දුන්නා. ඌ මෝල් තොලංග- ඉහ තෙල් සීරු මාරු වන තෙක් බඩ වත එහි උලන්නට ගත්තා.


ලේ වෑහෙන වනයක්ව සයුරෙහි කිඳෙන ඉර බෝලය මැද අංගාර කීලයක් සේ මෝලංගිරිය පේන්නට වුණා.

Arthur Arambepola

unread,
Nov 24, 2023, 8:21:36 PM11/24/23
to ind...@googlegroups.com
"ඕ නගරයට පැමිණියාය‍" කෙටිකථාව මම සම්පූර්ණයෙන්ම කියෙව්වේ නැහැ. කියවාගෙන යනකොට මහා අප්‍රසන්නතාවයක් දැනුන නිසා කියවන එක නැවැත්වුවා.
නිශ්ශංකගේ ඊමේල් එකේම දැක්වෙන අන්දමට මෙම කෙටිකථාව ගෙන ඇත්තේ https://poerty-dawson.blogspot.com කියන බ්ලොග් එකෙන්.

මෙම බ්ලොග් අඩවිය Dawson Preethi කියන මොරටුව විශ්ව විද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු උපාධියක්ද එක්සත් රාජධානියේ Heriot-Watt University වලින් MSc උපාධි දෙකක්ද ඇති Structural Engineer ගෙ වෙන්න ඇති. මොහු ඉංජිනේරුවෙකුට අමතරව පොත් කර්තෲ කෙනෙක්. "මුචලින්ද තාප්පය" නම් කවිපොතක්ද (2008), "හකාවති" නමින් කෙටිකථා පොතක්ද (2014), "The Basis" නමින් ව්ද්‍යා ප්‍රබන්ධ නවකථාවක්ද (2022) පළකර තියෙනවා. ඊටත් අමතරව දශක දෙකක් තිස්සේ
"quantum mechanics, philosophy, literature, and psychoanalysis" ද අධ්‍යයනය කර ඇති බව ඔහු  https://dawsonpreethi.com/ යන වෙබ් අඩවියේ කියා තියෙනවා.

මොහු මෙම කෙටිකථාව තම බ්ලොග් අඩවියේ පළකළේ එම කෙටිකථාව තේරුම් ගෙන රසවින්දනය කළ නිසා වෙන්න ඇති. (https://poerty-dawson.blogspot.com/2010/11/blog-post_28.html?m=1) . මට සම්පූර්ණයෙන්ම කියවන්න බැරි වුනත්, කියවපු ටිකත් තේරුම්ගත්තේ නැති වුනත්, මෙහෙම පුද්ගලයෙක් එම කෙටිකථාව තම බ්ලොග් අඩවියට ඇතුල්කරන්න එහි යම් වැදගත්කමක් ඇති කියල අනුමාන කරනවා.

එම කෙටිකථාව ගැන ඔහුට ආ comments වල අවසානයේ "ගෝතයා" කියල කෙනෙක් මෙහෙම කියනවා.

"
ගෝතයා1/03/2011 9:57 PM
ඩොසන් මාච්චාන් මමත් මෙ ස්ටයිල් එකට කෑමති ගොතයෙක්...හෑබයි අවුලකට තියෙන්නේ කතාව තුලින් ප්‍රකාශනය කරන්න හදන දේ හරියටම තෙරුම් ගන්න බෑ....මම කේ.කේ.සමන් කුමාර ගෑන දෑනගෙන හිටියට.කිසිම නව කතාවක් කියවලා නෑ,...මම සිරස රුපවහිනි වෑඩසටහනින් තමා සර්පයා නව කතාව දෑනගත්තේ එකට බොස් ඉන්ටව් කලේ කීන්ස්ලි.... පස්සේ බ්ලොග් බලනකොට තමා පොඩඩ පොඩඩ කියවන්න ලෑබුනේ එකට ඩොසන් උඹටත් ස්තුතියි....
පස්සේ තමා මගෙත් පොලොව පලාගෙන සර්පයා උඩට මතු උනේ...............
ඩොසන් මට කියන්න පුලුවන්ද සන්ෂිප්ථ අදහස මෙ කෙටි කතාවෙ....
"
මේකට ඩෝසන් උත්තර දීල නැහැ. ඊට කලින් "Anonymous" කියල කෙනකේ comment කරනව මෙහෙම:
"
හැබෑට ම මොකද්ද මේ හරුපේ? නොතේරෙන සිංහල ටික කියෙව්වා. බැරිද ඔහේටවත් තේරෙන සිංහලෙන්, ඒ කිව්වේ මේක ඔහේටවත් තේරුණා නං, මේ කථාව අපට කියලා දෙන්ඩ.
"
මේකටත් උත්තරයක් නැහැ.


දැන් ඉන්ද්‍රක සමූහයේ කිහිපදෙනෙක් වත් මෙම කෙටිකථාව කියවල රස වින්දනය කරල ඇති.

මටත් අහන්න තියෙන්නෙ මෙච්චරයි.

මට කියන්න පුලුවන්ද සන්ෂිප්ථ අදහස මෙ කෙටි කතාවෙ?


Nihal Ananda

unread,
Nov 25, 2023, 11:19:28 AM11/25/23
to ind...@googlegroups.com
22
පෝරණුවේ ආදරය....

මේක නම් ......... tops කතාවක් !
පැරණි දෙය සහ නවීනත්වය ගැන ..... හොඳ කථා කිහිපයක් , 'සදය  උපහාසයකින්' කියනවා. 

simont...@optusnet.com.au

unread,
Nov 25, 2023, 2:51:26 PM11/25/23
to ind...@googlegroups.com

මේ කතාව Absurdism style එකේ කතාවක් . හැබය් මේ කතාව නම් ඒ style  එකේ pinacle එකක් කියලය් හිතෙන්නේ . අරඹේ ට වගේ මටත් මෙලෝ බෝලයක් තේරුනේ නැහැ.



---
You received this message because you are subscribed to a topic in the Google Groups "INDRAKA" group.
To unsubscribe from this topic, visit https://groups.google.com/d/topic/indraka/9a4TDM4B3PQ/unsubscribe.
To unsubscribe from this group and all its topics, send an email to indraka+u...@googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/indraka/CAD2E_QK2xanQmFxP%3DZCGPkxN_s-dTxsCERh79PbE8pLz9tFd%3DA%40mail.gmail.com.

Email sent using Optus Webmail

Nissanka Rajapaksa

unread,
Nov 25, 2023, 4:27:51 PM11/25/23
to INDRAKA group
24

ඇරබි
- ජේම්ස් ජොයිස්

පරිවර්තනය 

ජානක ගුණතිලක 

අඳුරින් වැසීගිය  උතුරු රිච්මන් වීදිය  නිස්කලංකය . විදිය කෙලවර වු පාලුවට ගිය දෙමහල් නිවාස දෙක මැද පිහිටි චතුරශ්‍රාකාර  භුමියෙන් ඒවා අසල්වැසියන්ගෙන් වෙන්වේ. වීදියේ  අනෙකුත් නිවැසියන් අසල්වැසියන්ගේ මුහුණු  දෙස බලා සිනා නොවී සිටින්නට තරම්  ඉතා සංවර ජිවන විලාශයක් පිලිබද හොඳ අවබෝධයක් ඇති අය  වෙති.


අපගේ නිවසේ අපට පෙර පදිංචි  වී සිටි පුජකතුමා  පි‍ටුපස වු අඳුරු ගබඩා කාමරයේදී මිය ඇදුණි. කාලයක් තිස්සේ වසා තිබු කුස්සියට පිටුපසින් ඇති මෙම කාමරයට සුළං පොදක්වත්  ඇතුළු නොවේ, එය දුවිලි වලින් වැසී  ගොස්ය. මෙම කාමරය පැරණි  පුවත් පත් සඟරා වලින් අපවිත්‍රය. මේ අතරින් කඩදාසිවලින්ම කවර දමා තිබෙන ඇතුලත පි‍ටු වල කෙළවර  රෝල් වී දුර්වර්ණ වු පොත් කිහිපයක් මම සොයා ගතිමි. The Abbot, by Walter Scott, The Devout Communicant, and The Memoirs of Vidocq මෙයින් මම අවසාන පොතට වඩාත් කැමති වුයේ එහි පි‍ටු කහපාට නිසාවෙනි.නිවසට පි‍ටුපසින් ඇති කැලෑවේ  මැද ඇපල් ගසක් ඇති අතර එය වටා ඝනට වැඩුනු පඳුරු රාශියකිමෙම කැලෑවේ ගසක් යට තිබී මම අපේ පැරණි ගෙහිමියාගේ මළකඩ කෑ බයිසිකල් පොම්පය සොයා ගත්තෙමි. මෙම  පරිත්‍යාගශීලි පුජකයාඔහුගේ අවසාන කැමැත්තෙන් තමා සතු සියලු මුදල් තම ආයතන වලටද ඔහුගේ නිවසේ බඩු මූට්‍ටු තම සහෝදරියටද ලියා දී තිබිණ.

ශිත සෘතුව පැමිණීමත් සමඟම  රාත්‍රී ආහාරයට පෙර අඳුර වැටේ. අප වීදියේදී මුණ ගැසෙන විට අවට නිවෙස් පාලු  ස්වභාවයක් ගනී. අපට ඉහලින් ඇති අහසේ කොටස පමණක් වෙනස් වනසුලු අලංකාර දම් පැහැයෙන්  යුක්තය. එම දම්  පැහැති පසුබිමේ විදියේ පහන් කණුද,එහි කුමන වෙලාවක හෝ කැඩී  බිමට වැටීමට සුදානමින් සිටින වීදි ලාම්පුද වේ. සීතල, අප සිරුරු වලට ඉදිකටු වලින් අනින්නාක් මෙන් දැනෙන විට අපි අපගේ සිරුරු ගිනියම් වනතෙක් සෙල්ලම් කරන්නෙමු. අපගේ ඝෝෂාව නිස්කලංක වීදියේ දෝංකාර දෙයි. මඩ  වී ඇති පාරවල් දිගේ කුඩා ගෙවල් අසලින්  දිව යන විට ඒවායේ  උඳුන් වලින්  හමන  මස් පිළිස්සෙන දුම  අපට දැනේ, තවත් විටෙක අශ්වරෝහකයෙකු අශ්වයා  පිරිසිදු කරන විට ගාංචු  වලින් නැගෙන හඬ අපට ඇසේ. 


අප නැවත වීදියට  ළඟාවන  විට මුළුතැන්ගෙයි ජනෙල් කවුළුවෙන් වැටෙන ආලෝකයෙන් අවට ප්‍රදේශයම ආලෝකමත් වී තිබිණ. මා ගෙදරට හැරෙනු මාමාට  නොපෙනිම සඳහා ගෙතුලට යනතුරු මම අඳුරු සෙවනල්ලකට  මුවා වී සිටියෙමි. මේ අතරතුර මැන්ගන්ගේ  සහෝදරිය තම සහෝදරයාට තේ පානය සඳහා හඬ ගැසීමට  ඇයගේ නිවසේ දොරකඩට  පැමිණෙන  අයුරු අප සේවනැල්ලට මුවාවී බලා සිටියෙමු. ඇය  නිවස  ඉදිරිපිට නවතින තුරු හෝ නැවත නිවස තුලට යනතෙක් හෝ අපි බලා සිටියෙමු. අපි මුවා වී සිටි අඳුරු සෙවනැල්ලෙන්  පිටතට පැමිණ ඔවුන්ගේ නිවස වෙත පියවර තැබුවෙමු. ඇය  අප එනතුරු බලා හිදී. ඇයගේ ශරීරයේ සියලු හැඩතල   පිටුපස අඩවන් වූ දොරෙන් වැටෙන ආලෝකයෙන් විස්තර වෙයි. ඇයගේ සහෝදරයා නිතර  ඇයට උසුළු විසුළු කරයි. ඔහු ගරාදි වැට  ළඟය, ඒ  අසලින්  ඇය සිටගනී. ඇයගේ සිරුරේ චලනයන්ට අනුකුලව  අයගේ ඇඳුමද  ඒ මේ අත චලනය වේ. ඇයගේ  කොණ්ඩය බැඳ ඇති රිබන් පටියද  ගමන් කරන තාලයට ඒ මේ අත සෙලවේ.


මම සෑම  දිනකම අපගේ විසිත්ත කාමරයේ බිම දිගා වී ඇයගේ නිවසේ දොරකොඩ  දෙස බලාගෙන සිටිමි. ජනෙල් වල පැලලි අර්ධයක් වන සේ වසා අඟලක පමණ හිඩැසක් තබා එතුලින් මම බලා සිටිමි. එවිට කිසිවෙකුටත් මා බලා සිටින බවක්  නොපෙනේ. ඇය  නිවසේ දොරකඩට  පැමිණෙන විට මගේ හදවත ගැහෙන  ශබ්දය මටම ඇසේ . එසැනින් මම පාඩම් කරන ශාලාවට දුවගොස් පොත් කිහිපයක් ගෙන ඇය  ලුහු බඳිමි. මම ඇයගේ තලෙලු ශරීරයෙහි  ඇස  රඳවාගෙන ඇය පසුපසින් හැකි උපරිම වේගයෙන් ගමන් කරමි. ඇය  සමීපයට පැමිණි වහාම මම ඇයගෙන්  වෙන්වී ගමන් කරමි. මම තවත් වේගය වැඩිකර ඇය  පසු කර යමි. මෙය සෑම  දිනකම උදෑසන   සිදුවන්නකි. යාන්ත්‍රික වචන කිහිපයක් හැර මා  කිසිම  දිනෙක  ඇය සමග කතාකර නොමැත. ඇයගේ  නම මගේ උමතු සිතට තවමත්  සිතාසියක් වැනිය.


ඇයගේ  ප්‍රතිරූපය, ඉතා අඳුරු වූ තැනෙක සිට  ආදරය වෙත මා රැගෙන යයි. එක්තරා සෙනසුරාදා දිනයක මාගේ නැන්දා පොළෙන්  බඩු  ගෙනෙන විට මටද බඩු  පාර්සල් කිහිපයක් රැගෙන ඒමට සිදුවිය. බමන මතින් එහෙ මෙහෙ යන මිනිසුන් බඩු  හෙට්ටු කරන කාන්තාවන්ගෙන් පිරිණු විදියේ අප ඇවිදගෙන යනවිට එක්  නාටාමියෙකු අපට දෙස් දෙවොල් තියයි, ඌරන් කුකුලන් ආරක්ෂා කරමින්ද ඔවුන් විකිනීමට කෑමොර දෙමින්ද සිටින කඩවල් වල වෙළෙන්දන් නගන ඝෝශාවද විදියේ දේශාභිමානී ගීත ගයමින් සිඟමන් යදින යාචකයන්ගේ ගිතිකාද අතරින්  අපි ඇවිද ගියෙමු. මේ සියලු දෙන මා සිතට ජීවිතය පිලිබඳ සංවේගී හැගීමක් නාභි ගතකරයි. මෙම සියලු සතුරු බාධක මධ්‍යයේ මම මාගේ ජයග්‍රහණය භුක්ති විඳින ආකාරය ගැන සිහින  මවමි. මට  ඇය  මතක් වන සෑම  මොහොතකම මගේ  තොල් මමත් නොදන්නා අයැදිමක හෝ යාඥාවක යෙදේ. එවිට මගේ ඇස්  කඳුලින් තෙත්වේ. නමුත් ඒ කුමටදැයි මම   නොදනිමි. නමුත් විටින් විට මාගේ  හදවතට දැනෙන  සියල්ල දරාගත නොහැකිව හදවත ළය  පලාගෙන එලියට පැමිණෙන්නාක්  මෙන් මට දැනේ. මම අල්පමාත්‍රයක් අනාගතය ගැන සිතුවෙමි. මට කිසි දිනෙක ඇය  හා වචනයක් හෝ කතා කිරීමට හැකිවේදැයි මම නොදනිමි, නමුත් කිසියම් දිනෙක ඇය  හා කතා කළහොත් මාගේ ව්‍යාකුල ආදරය කෙසේ පවසන්නේදැයි මම නොදනිමි. නමුත් මාගේ සිරුර  ඇයගේ  වචන සහ හැසිරීම් නම් වූ මෘදු ඇගිලි තුඩු වලින් වයන විණාවක තත් සේ හැඟේ.


මම එක්  දිනක පුජකයා මියගිය, පිටුපස ගබඩා  කාමරයට පිවිසුනෙමි. එය ඉතා අඳුරු, වැසිබර  

සන්ධ්‍යාවක්   වූ අතර නිවසේ කිසිදු ශබ්දයක් නොවීය. ජනේලයේ කැඩීගිය විදුරු කැබැල්ලකින් ඇති වූ සිදුරින්  වර්ෂා ජලය  පොළවේ පතිත වන  ශබ්දය අත්දැක්කෙමි. සිහින් නුලක් සේ ඇද  හැලෙන වැසි වතුර තෙත බරිත මෙට්ටය මතට පතිත වේ. ඈතින්  වැටෙන විදුලි එළියක් හෝ ජනේලයකින් පරාවර්තනය වන ආලෝකය ලපයක් මා සිටින තැන බිමට පතිත වේ. එයට පින්සිදු වන්නට මට යමක් බලාගැනීමේ භාග්‍ය ලැබී ඇත. මගේ සියලු ආශාවන් එකිනෙක පැටලී ඒ සියල්ල මවෙතින් ගිලිහී යන්නට ආසන්න  යැයි  සිතේ. මම මගේ දෑත් සලිත වනතුරු එකිනෙක පටලවාගෙන "මගේ ආදරය", "මගේ ආදරය" යැයි  මටම කිහිප වාරයක් කියා ගත්තෙමි.

අවසානයේ ඇය මට කතා කළේය. ඇය මා  ප්‍රථමයෙන් ආමන්ත්‍රණය කලවිට මම කෙසේ පිළිතුරු දිය යුතුදැයි මට  සිතා ගත නොහැකි විය. ඇය  ඇසුවේ මා  ඇරබි වලට යනවාදැයි යන ප්‍රශ්නයයි. මම එයට "ඔව්" කියා උත්තර දුන්නේද, "නැහැ" කියා උත්තර දුන්නේද යන්න මට මතක නැත. ඇරබි  වල වෙළඳ සැණකෙළිය  ඉතා අනර්ඝ  බවත්  ඇයද එහි යාමට කැමති බවත්  පැවසිය.


"ඇයි  ඔයා  එන්නේ නැත්තේ " කියා මම ඇසීමි.


ඇය  කතා කරන අතරතුර  ඇයගේ අතේ දමා ඇති රිදී අත්  පළඳනාව මැණික් කටුව  වටා කරක වන්නීය. ඒ සතිය ඇයගේ කන්‍යාරාමයේ උපවාස සතිය වන බැවින් ඇයට  යාමට නොහැකිවූ  බව  පැවසීය. මම ගරාදි වැට  ළඟ සිටගෙන සිටින විට ඇයගේ සහෝදරයා සහ තවත් කොල්ලෙකු ඔවුන්ගේ හිස්වැසුම් වලට පොරකති. ඇය එක් පාදයක් පසුපසට නවා මුහුණ ඉදිරියට දමා මා  හට මදහස පෑවාය. ඉදිරිපස නිවසෙන් වැටෙන ආලෝකයෙන් ඇයගේ ගෙලෙහි වක් වූ අලංකාර හැඩය, නිදහසේ එල්ලා  වැටෙන කොණ්ඩය මෙන්ම ගරාදි වැට  මත තබා ගෙන සිටින ඇයගේ  මෘදු දෑත්ද දිස්වේ. ඇය  පහසුවෙන් සිටගෙන සිටින විලාශය අනුව එම ආලෝකය ඇයගේ ඇඳුම විනිවිද ගොස් යට සායේ   වාටිය සුදු පැහැයෙන්  දිස්වේ.

"ඒක ඔයාට නම් නියමයි" ඇය  පැවසීය.


"මම ගියොත් ඔයාට මොනා  හරි අරන්  එන්නම්" මම පැවසීමි.


එම සන්ද්‍යාවෙන් පසුව අප්‍රමාණ නිරර්ථක  දේවල් සමුහයක් මසිත තුල මතුවෙමින් නැවත ගිලෙමින් පවතී. මම නීරස අතරමැදි දින සම්පූර්ණයෙන්ම අමතක කර දැමීමට උත්සහා කළෙමි. මට පාසලේ වැඩ වහ කදුරු සේ දැනේ. දහවල පාසලේදී මම පොතක් දිග හරින විට පොත සහ මා අතර සිටින ඇගේ රුව  රාත්‍රියේදී මගේ නිදියහනේ සැතපේ. නමුත් සියලු දේ අතර  මගේ විෂය නිර්දේශය "ඇරබි" වූ අතර නිස්කලංක මගේ ආත්මය කුල්මත්ව සතුටින් කාලය ගත කරයි. මම සෙනසුරාදා සවස  ඇරබි  වලට යාමට අවසර ඉල්ලුවෙමි. එයින් නැන්දණිය  විශ්මයට පත් විණි. මම පන්තියේදී අසන ලද ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දුන්නෙමි.  මම අපේ ගුරුතුමාගේ මුහුනේ  සුහඳ ලිලාවේ  සිට ඉතා බැරෑරුම් විලාශයන්ද නිරීක්ෂණය කලෙමි: මෙයින් ඔහුට අරමුණක් නැතිව කල්පනා කිරීමට කිසිදු අවස්ථාවක් නොලැබිණ. මගේ සිතේ පාවෙන සිතුවිලි එක තැනකට ගැනීම කොහෙත්ම මට කල හැක්කක් නොවේ. මම, මා සහ මාගේ ආශාවන්  අතර හුදකලා වූ කුඩා දරුවෙකු සේ මටම හැඟේ, කිසිදු අර්ථවත් දෙයක් කිරීමට තරම්  සිත එකඟ කරගැනීමට මම අපොහොසත් වෙමි.


සෙනසුරාදා උදෑසන  මම, මාමා මුණගැසී අද සවස නගරයට යාමට බලාපොරොත්තුවෙන් සිටින බව පැවසීමි. ඔහු ඉදිරිපස ශාලාවේ නිකරුණේ කළබලයෙන් තොප්පිය පිසදාන බුරුසුව සොයමින් කාලය ගත කළේය.


"ඔව් දරුවො  මම දන්නවා"


ඔහු ශාලාවේ රැදී සිටි බැවින් මට මට නිවසේ ඉදිරි පස ජනේලය වෙත යාමට නොහැකිය. මට නිවසේ රැදී සිටීම අරමුණක් නැති විහිළුවක් විය, මම පාරට බැස  පාසැල දෙසට ඇවිදගෙන ගියෙමි. සුළඟ අනුකම්පා විරහිතය, මාගේ  හදවත අරමුණක් නැති අදහස්  වලින් පිරේ.


මම රාත්‍රී ආහාරයට පැමිණෙන විට මාමා නිවසේ සිටියේ නැත. නමුත් තවමත් පමා වී නොමැත. මම හිඳ  ගෙන මොහොතින් මොහොත ඔරලෝසුව දෙස බලමින් සිටියෙමි, එහි කටුවල ශබ්දය අප්‍රසන්න විය, මම එම කාමරයෙන් නික්ම ගියෙමි. මම පඩි  පෙළ නැගගෙන  ඉහල මාලයට පිවිසුනෙමි. පාලු, අඳුරු, මුසල කාමර එකින් එකට සින්දුවක් මුමුණමින් ගමන් කළෙමි. ඉදිරිපස ජනේලයෙන් මම මගේ මිතුරා විදියේ සෙල්ලම් කරමින් සිටිනු දුටුවෙමි. ඔවුන්ගේ කෑ  ගැසිම  මට දුර්වලව මෙන්ම නොපැහැදිලිවද  ඇසේ. මම මගේ නළල ජනේලයේ සිතල වීදුරුවට හේත්තු කර ගත්තෙමි, අඳුරේම ඇයගේ  නිවස දෙස බලා සිටියෙමි. සමහර විට මා එහි පැයක්  පමණ රැදී ඉන්නට ඇත නමුත්  තලෙලු වාත්තු කරන ලද පිළිරුවක් මිස මා දුටු කිසිවක් නැත, එහි ගෙලෙහි අලංකාර නැම්ම ලාම්පු එළියෙන් මතුකරන අතර දෑත  ගරාදි වැට  මත තබා ඇත්තේ යටසායේ වාටිය  ආසන්නයේය.


 මම පහත මාලයට නැවත  පැමිණෙන විට මර්සර් මහත්මිය සාලයේ ගිනි උඳුන ළඟ  හිඳ  ගෙන සිටියාය. මියගිය උකස් වෙළෙන්දාගේ බිරිය වන ඇය කුමක් හෝ පුණ්‍ය කටයුත්තක් සඳහා පරණ මුද්දර එකතු කරන මහලු වාචාල ස්ත්‍රියකි. ඇයට  තේ මේසයේදී කතා කිරීමට බොහෝ ඕපාදුප තිබේ. රාත්‍රී ආහාරය පැයක්  පමණ පසු වී ඇතත් මාමා තවම නිවසට පැමිණ නැත. මර්සර් මහත්මිය පිටත් වීමට නැගී සිටින විට රාත්‍රී අටද පසුවී හමාරය, ඇය  කොහෙත්ම රාත්‍රීයේ එලියට බැසීමට කැමැත්තක් නොදක්වන්නේ, රාත්‍රී සුළඟට ඇය  ප්‍රිය නොකරන බැවිණි. ඇය  පිටත්ව ගිය පසු මම පහත මාලයට  බැස්සේ මිටි ගුලිකරගත් මගේම අතද අල්ලාගෙනය. 


" දෙය්යනේ  ඔයා අද හවස නගරයට යන්න නේද හිටියේ' යැයි  නැන්දා   පැවසිය.


රාත්‍රී නවයට පමණ මාමා ඉදිරිපස දොරටුවේ අගුලට යතුර දමා  කරකවන හඬ මට ඇසිණ. ඔහු ඉදිරිපස ශාලාවේ සිට ඔහුටම මුමුණ ගන්නා හඬත් කබාය ගලවා දමන සබ්ධයත් මම අසා  සිටියෙමි. මට මේ සියල්ල තේරුම් ගත හැකි විය. ඔහු රාත්‍රී ආහාරය ගන්නා අතර තුර මම ඔහුගෙන් නගරයට යාමට සල්ලි දෙනවා දැයි ඇසීමි. ඔහුට එය අමතක වී තිබිණ.


"දැන් රෑට  නිදාගත්ත මිනිස්සු එක නින්දක් ඇහැරලත්  ඇති" මාමා  කිවේය 


මම සිනා නොවිමි. 


" මේ ළමයට සල්ලි දීල යන්න දුන්නනම් නේද හොඳ? ඔයා දැනටමත් මෙයාව හොඳටම පරක්කු කරලනේ තියෙන්නේ " යැයි  නැන්දා බොහොම උනන්දුවෙන් පැවසීය.

මාමා අමතක වීම ගැන කණගාටුව ප්‍රකාශ කළේය. එසේම කිසිවක් නොගෙවා සියලු වැඩ ගැනීම "ජැක් " ප්‍රයෝජනයකට නැති මිනිසෙක් බවට පත් කල පැරණි කතාවද  සිහිපත් කළේය. ඔහු මා  කොහේ යන්නේදැයි විමසිය, මම දෙවන වතාවටත පිළිතුරු දුන් පසුව, "ඇරබි  වලදී අශ්වයාට සමුදීම" දන්නවාදැයි ඔහු මගෙන් ඇසිය. මම මුලුතන්ගෙයින් නිකම යාමට ආසන්නවූ  විට එහි මුල් පේලිය නැන්දාට  කියන්නට සුදානම්  විය.


මම සිලින් දෙකේ කාසිය අතේ තද කරගෙන දුරින් දුරින් පය තබා බකිංහැම්  විදිය ඔස්සේ දුම්රිය පොළ වෙත පිය නැගුවෙමි. වෙළෙන්දන් සහ ගනුදෙනු කරුවන්  නොමැති විදියේ ගෑස්  ලාම්පු එළිය මට මගේ ගමනේ අරමුණ නැවත මතක් කරදෙයි.  මිනිසුන් නොමැති දුම්රියක තුන්වන පන්තියේ මැදිරියක මම අසුන් ගත්තෙමි. ඉවසාගත නොහැකි ප්‍රමාදයකින් පසුව දුම්රිය  සෙමෙන් තවත් දුම්රිය පොළකට ලංවිය. "වෙස්ට්ලන්ඩ් රෝ" දුම්රිය පොලෙදී සෙනග දුම්රිය පෙට්ටි වල දොරටු වලට තෙරපෙමින් දුම්රියට ගොඩ වීමට උත්සහා දැරූහ. නමුත් බඩු  රැගෙන යන්නන් මෙය වෙළඳ සැණකෙළිය වෙනුවෙන් ධාවනය කරන විශේෂ දුම්රියක් බව පවසමින් ඔවුන් වලක්වා ලුහ. මා  දුම්රිය පෙට්ටියේ තනිවම ඉතිරි විය. තවත් විනාඩි කිහිපයකින් දුම්රිය ලීයෙන්  තැනූ  වේදිකාවට සමීප විය. මම දුම්රියෙන් එලියට බසින විට ආලෝකමත් වූ ඔරලෝසු මුහුණතක දහයට විනාඩි දහයක් සටහන්ව තිබිණ. මා ඉදිරියේ විශාල ගොඩනැගිල්ලේ නම පුවරුවක දිස්වේ. 


වෙළඳ සැණකෙළියට ඇතුළු වීමට මට පැන්ස හයේ දොරටු කිසිවක් සොයා ගත නොහැකි විය, එය අවසන් වීදැයි මම තැති ගතිමි. මම තනි පුද්ගලයෙකුට පමණක් ගමන්කළ හැකි දොරටුවක් සොයා ගත්තෙමි, එහි සිටි වෙහෙසට පත් වූ මිනිසාට සිලිමක් දී මම අතුලුවිමි. බාල්ක  වලින් අර්ධයක් අවරණ ය කරන ලද විශාල ශාලාව මම සොයාගත්තෙමි. සියලු ප්‍රදර්ශණ  කුටි  වසා  දැමීමට ආසන්න  වී තිබිණ, ශාලාවේ අර්ධයක්ම කලුවරින් වැසි ගොස් තිබිණ. පල්ලියේ  යාඥාවන් අවසන් වූ විට පවතින නිශ්ශබ්දතාවය මෙන් ශාලාව නිශ්ශබ්දයය. මම බයාදු ලෙස ප්‍රදර්ශනාගාරයට  අවතීර්ණ වීමි. තවමත් විවෘර්තව ඇති වෙළඳ කුටි  වල මිනිසුන් කිහිප දෙනෙකු සිටිනු දක්නට ලැබේ. "Café Chantant" යැයි  වර්ණවත් විදුලි ආලෝකයෙන් ලියා තිබුණු  කුටියේ තිර රෙද්දට  මෙපිටින් මිනිසුන් දෙදෙනෙකු ලෝහ තැටියක් මත තබා මුදල් ගනිමින් සිටී. මම කාසි වැටෙන ශබ්දයට අසා සිටියෙමි.


මම මෙහි පැමිණියේ කුමටදැයි මතක් කරගැනීමට උත්සාහ  කරමින් තවත් වෙළඳ සළකට  පිය තබා පිඟන් මැටි මල් පෝච්චි සහ මල් වලින් හැඩ දමන ලද තේ කෝප්ප කුට්ටමක් පරික්ෂා කලෙමි. වෙළඳ සලේ දොරකඩ තරුණියක්  තරුණයන් දෙදෙනෙකු සමග කතා කරමින් සිටි. මම ඔවුන්ගේ භාෂා උච්චාරණයට  සහ දෙබසට ඉතා උනන්දුවෙන් ඇහුම් කන් දුන්නෙමි.

'ඕ, මම එහෙම දෙයක් කවදාවත් කිව්වේ නෑනේ !'

'ඕ , නෑ  ඔයා  එහෙම කරා !'

'නෑ  මම එහෙම කරේ නෑ!'

'මම එහෙම කිව්වේ නෑ ?'

'ඔව්, මට එයා කියපු දේ ඇහුණා .'

'ආ, එහෙනම් ඒක  බොරුවක් !'


මා දිහා බලා ගෙන සිටි තරුණිය  මා වෙත පැමිණ මා කුමක් හෝ මිලදී ගැනීමට බලාපොරොත්තු වන්නේදැයි ඇසීය. ඇයගේ උච්චාරනය මා දිරිමත් නොකරයි: ඇය  මා හට කතා කරන්නේ රාජකාරියක් ඉටු කිරීමට මෙනි. මම ඉතා නිරහංකාරව ඇතුළුවන දොරටුව අසලම දෙපස  ඇති අලංකාර බඳුන් දෙස බලා,


"නෑ  මට මොකුත් ඕනි නෑ "යැයි  පැවසීමි.


මෙම තරුණිය  එක් බඳුනක පිහිටීම නැවත නිසි ලෙස සකස් කොට ආපසු තරුණයන් දෙදෙනා වෙත ගොස් මුලින් කතා කරමින් සිටි මාතෘකාව නැවතත් කතා කිරීම ආරම්භ කළේය. වරක් හෝ දෙවරක් තරුණිය  ඇයගේ උරහිසට ඉහලින් මා දෙස බැලීය


ඇයගේ  ප්‍රදර්ශන කුටිය ඉදිරිපස මම තවත් ටික වෙලාවක් රැඳී සිටියේ  මගේ ඇති උනන්දුව ඇයට  ඇත්තක්  බව පෙන්වීමටය , නමුත් එය නිෂ්ඵල ක්‍රියාවක් බව මම දැන  සිටියෙමි. ඉන්පසු මම වීදිය මැද්දට පැමිණ ඉදිරියට ඇවිදගෙන ගියෙමි. මම මගේ සාක්කුවේ ඇති පැන්සයේ කාසි දෙක එකිනෙකට වැදී හඬ නැගීමට ඉඩ හැරියෙමි. ප්‍රදර්ශන ශාලාවේ කෙලවරින් හඬ ගසන ශබ්දයක් අඳුරේම මට ඇසිණ. ශාලාවේ ඉහල කොටස සම්පුර්ණයේම දැන් අඳුරුය.


 මම අඳුර දෙස එක එල්ලේ බලා හිදින විට, මා  අර්ථ ශුන්‍ය නිස්සාර  භාවයෙන් මෙහෙයවන චරිතයක් බව හැගේ: එවිට මාගේ දෑස්  කෝපයෙන් නමුත් සන්තාපයෙන් ගිනිගෙන දැවෙන්නට විය.



ඇරබි - අයර්ලන්ත නගරයක්

Nissanka Rajapaksa

unread,
Nov 26, 2023, 6:15:35 PM11/26/23
to INDRAKA group
25

ජීවිතයට ලයිට් ගිහින්...

- මංජුල සේනාරත්න 

රාත්‍රී අටේ   සිට දහය දක්වා  දක්වා විදුලිය ඇන හිටීමක් සිදුවන බව නිවේදනය කෙරුණි. දවසේ වැඩ ටික අමාරුවෙන් නිම කර, නිවසට විත්, සූදානම් කර ගත් ආහාර වේල  අඹු දරුවන් සමග මුවට ඇතුළු කර ගන්නට, බහුතර අසරණ ජනයා  සූදානම් වන වෙලාවටම  බලධාරින් ලයිට් කපන්නට තීරණය කළේ  ඇයිදැයි මම මගෙන්ම ප්‍රශ්න කර ගතිමි. මම මේ රටේ තවත් එක් සාමාන්‍ය ගැහැනියක් පමණි. මගේ මේ සාධාරණ පැනයට පිළිතුරු දීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවන බව දැන  සිටි නිසාම, කාර්යාලයෙන් පැටවී, විෂ කැවූ ඊතලයකින් බේරෙන්නට වෙට්ටු දමමින් දුවන මුවැත්තියක් මෙන් හතිහලා ගෙන මොන්ටිසෝරියෙන්   උගුල්ලා ගත් පුංචි පුතා සමග නිවෙස් වැදුණු මම, පොළොවට පාත්වන අඳුරු සමග මැරතනයක් දුවමින් රාත්‍රී  ආහාරය සූදානම් කළෙමි. කෑම මේසයේ මහා දෙයක් නැත.   නිහාල් කෝප නොගනු ඇතැයි යන්න මගේ අනුමානයයි. 

බොරැල්ලේ සිට කොට්ටාව බලා දුවන 174 බසයෙන්, පන්නිපිටිය හන්දියේදී බැස  ගන්නා මිනිසෙක් කාක බෝධිය ඉදිරියේ ඇති බාර් එකට ගොඩ වන්නේ හැකි ඉක්මනින් වීදුරු  කීපයක් මුවට හලා ගෙන පිටවීමේ අදහසිනි. එහෙත් ඇතුළු වන විට ඔහු සතුව තිබුණු හදිස්සිය "විශේෂ මැන්දිස්" විසින් පැය දෙකක කාලයක් දක්වා දිගු කිරීම නිසා  පිටවීමේ දොරටුව සොයා ගැනීමට ඔහුට අපහසු විය . අවසානයේදී දොරටුව සොයාගෙන පියගැට පෙළ බසින්නට  උත්සාහ කරන අතරේදී, තම සිරුරේ සමබරතාවයද  "මැන්දිස්" ගේ පාලනයට නතු වී   ඇති බව ඔහු වටහා ගනියි. ත්‍රිරෝද රථයකට රුපියල් 400 ක් වියදම් කරන මිනිසා, රුක්මල්ගමට පැමිණ නිවස අසළින් බැස  ගනිද්දී වෙල් යාය ඉහළින් හමා  එන සුළඟ, ඔහුගේ සුරා ගඳින් ටිකක් සොරාගෙන, දහදිය ගද සමග පෙරා  මගේ නාසය මත තවරා යන්නට යයි . මම හැරී බලමි. අමාරුවෙන් ත්‍රිරෝද රථයෙන් බසින සැමියා දෙපයින් සිටගෙන , හතරගාතයෙන් මෙන් ඇවිදිමින් නර අවතාරයක් මෙන් නිවසට ඇවිද එයි.  ලයිට් කපන්නට විනාඩි කීපයක් තිබේ. සැමියාගේ කෝප මුහුණ දකින මගේ ලොවේ විදුලිය විසන්ධි වන බව දැනේ. හදවත නමැති ජෙනරේටරයට, ණය වී මිලට ගත්, සෙනෙහසේ ඉන්ධන බින්දු කීපයක් දමා,  කාරුණික සිනහවක් මුවට නංවා ගතිමි. එහෙත් සැමියාගේ වෙරි බලය අඩු කර දමන්නට ඒ සිනහවේ Voltage  බලය ප්‍රමාණවත් නොවිණ.
"තමුසේ හම්බ කරන දේවල් පොදි ගහන්නේ රෑට හරහමන් දෙයක් කන්න හදන්න බැරිද ඕයි ..." ඔහු ඇසුවේය.
"තෙල් නැති හින්දා බස් දුවන්නේ නැහැ නිහාල්. පුතා එක්ක පයින් ආවේ.. අනෙක දර ලිපේ උයන්න අමාරුයි අනේ.. සොරි .." විදුළි බලයකින් සිරුර හිරි වට්ටවා ගන්නට හැකි නම්  මම එසේ කරමි. අද රාත්‍රියේ යම් මොහොතක ඔහුගේ අතරේ අකුණු සැර මගේ මුහුණ මත පතිත වීම වළක්වා ගත නොහැකි වුවද, සිරුර හිරි වට්ටවා ගැනීමෙන් වේදනාව දරා ගත හැකිය.

ඔහු මුළින්ම කළේ බෙදා කටක් මුවට දාගෙන, එය යන්තමින් රස බලා, උගුරින් පහළට නොයවා, මුවින් පිටත විසි කිරීමයි. මේ මළ ජරාව කන්නේ කොහොමද යකෝ... කියමින් බත් පිගාන අතට ගත් මගේ සැමියා එය මා දෙසට දමා ගැසුවේය. වෙරි මත නිසා ඔහුගේ ඉලක්කය සාර්ථක වූයේ නැත. එහෙත් අමාරුවෙන් නැගී සිට මා වෙත පැමිණෙන ඔහුගේ සුරත ට ඉලක්කය නොවරදින බව මම දැන සිටියෙමි. දෙපයට හැකි විරිය ගෙන  දිව ගොස්, නිවසින්, ගමෙන්, රටින් පිටවී දෛවයෙන් බේරෙන්නට නොහැකිය. පතාගෙන ආ හැටියට නිහාල් ගේ සුරත මගේ හිසේ වදින්නට පෙර නොසිතූ එක දෙයක් සිදුවිය. 
එනම් විදුලිය විසන්දි විය. 

මුළු නිවසම අන්ධකාරයේ  ගැලී ගිය නිසා මා සිටින දිශාව සොයා ගැනීමට ඔහුට අසීරු  වුවත් සුරත ඔසවා ගෙන මා දෙසට ඇවිද ආ වේගය පාලනය කර ගන්නට නොහැකි වීම නිසා බිම ඇද වැටෙන මගේ සැමියාගේ සිරුරින්  "තග්" යන හඬ නැගෙනු මට ඇසුණි . ඉන්  පසුව පැතිර ගියේ දරා ගත නොහැකි නිහැඩියාවකි. ඇසුණේ ඈත, දුර, මෑත බුරන බල්ලන්ගේ ගෝෂාව පමණි.

"නිහාල් ... නිහාල් ...!" ඔහුගේ සිරුර සොළවමින් මම කෑගැසුවෙමි. හිස සිමෙන්ති පඩියේ වැදෙන්නට ඇත. රුධිර වහනයක් වී නැති බව ස්පර්ශයෙන් තේරුම් ගත්තද, නාඩි වැටීමේ වේගයේ වෙනසක් නො වැටහුනද, නාස් පුඩු වලින් උණුසුම් ප්‍රශ්වාස වාතය පිටවුණද මගේ සැමියා සිහිසුන්ව සිටියි. ඔහු බිම ඇද  වැටුණේ මට එල්ල කළ පහර වැරදී , සිරුරේ සමබරතාවය අහිමි වීමෙන් බව මම දනිමි. ඔහුගේ අභිප්‍රාය වූයේ මට පහර දී මෙල්ල කර ගැනීමයි. තමන්ගේ ආධිපත්‍යය තහවුරු  කර ගැනීමයි. සිරුරින් දුර්වල තැනැත්තියකට තමන්ගේ ශක්තිය පෙන්වීමයි. තොට හොද වැඩේ යැයි සිතා නිහඩ වන්නට හැකි වුවද ඔහු මගේ එකම ආරක්ෂකයාය. 
ඔහු මිය ගියාද...?

අත පත ගා ඉටිපන්දමක් දල්වා ගත් මම මුළින්ම කළේ නිහාල් ගේ මුහුණට එබී බැලීමයි. විනාඩි කීපයකට පෙර ඒ මුහුණේ පැවති  බේබදු කෝපය සිහිසුන්වුවද තවමත් පහව ගොස් නැත. ඒ නරුම පෙනුම මරණයෙන් පසු එලොවටත් රැගෙන යන්නට ඔහු සූදානමින් සිටියාක් වැනිය. "නිහාල් .." පිළිතුරක් හෝ, ප්‍රතික්‍රියාවක් දකින්නට නොමැති තැන කුඩා කාමරයට ගොස් නිදි යහනේ වාඩිගෙන බියට පත් මුහුණින් අඳුරට ඉකි ගසන හය හැවිරිදි පුතු වැළඳ ගත්තෙමි.
"අම්මී ..තාත්තී වැටුණ නේද..?"
"ඔව් පුතේ ..ආයේ නැගිටියි...ඔයා බය වෙන්න එපා හොඳේ..නිදා ගන්නකො..." යම් හෙයකින් නිහාල් මිය ගොස් ඇත්තම් කළ යුත්තේ කුමක්දැයි නොදැන මම මහා දොරින් පිටවී නිවසේ ඉස්තෝප්පුවට පැමිණියෙමි. ගල් බැම්මේ වාඩිගෙන වටපිට බලද්දී යම් දෙයක් වටහා ගන්නට මට හැකිවිය. එනම් පෙර දැනුම් දුන් ආකාරයට විදුලිය විසන්දි කිරීමක් සිදුව නැති බවයි. ලයිට් ගොස් ඇත්තේ අපේ නිවසේ පමණි. අනෙක් සෑම නිවසකම ලයිට් තිබේ. එසේ නම් මේ දීපය පාලනය කරන ලයිට් කැපීම සහ ලයිට් යළි එවීම පිළිබඳ නිසි බලධාරී තැන ඉතා වටිනා දෙයක් වටහා ගෙන ඇතුවාක් මෙනි. එනම් මේ නිවසේ වසන ගැහැනියගේ ජීවිතය නොවැදගත්  එකකි. ලයිට් තිබුණා හෝ නැතුවා, ඇගේ ජීවිතය සදාකාලීන අඳුරේ පවතින්නට මෙලොවට බිහිවුණු එකකි. එහෙයින් තව දුරටත් මේ නිවසට විදුලියෙන් පලක් නොවේ. 
එසේ සිතන නිසි බලධාරියා  අපේ නිවසේ පමණක් ලයිට් කපා තබා මුළු මහත් අවට  ලෝකයම  ආලෝකමත් කර තිබේ.

එහෙත් ගැහැනුන් යනු අඳුරු ජීවිත උරුම කරගෙන මෙලොවට බිහිවුණු සත්ව කොටසක් නොවේ. සත්‍යයකි. සිමොන් දු බෝවා වරෙක කීවා මෙන් ගැහැනිය උපදින්නේ ගැහැනියක වශයෙන් නොවේ. ඇයව ගැහැනියක බවට පත්  කරන්නේ ඇය වටා සිටින පිරිමින් විසිනි. කුඩා කාලයේ පියාද, වැඩිමහලු වෙද්දී සහෝදරයින්ද, අනතුරුව සැමියාද ගැහැනියගේ පාලනය අතට ගනියි. 

කොළඹ අහස, රුසියානු මිසයිල මෙන් හිරු කිරණ හිසට එල්ල කරන එක ගිනිගත් දහවලක තරුණයෙකු ඇවිත් "මිස් වෙලාව කීයද...?" යි මගෙන්  අසද්දී මගේ වෙලාව නරක්  වනු ඇතැයි නොසිතුවෙමි.  ඔහුගේ මහලොකු කඩවසම් කමක් තිබුණේ නැත. කළුත් නැත. සුදුත් නැත. උසත් නැත. මිටිත් නැත. 
"ඔයාගේ අතේ ඔරලෝසුවක් තියාගෙන ඇයි මගෙන් අහන්නේ...?" මම ඇසුවෙමි.
"මට දැනගන්න ආසයි මිස්ගේ වෙලාව කීයද කියලා. මගේ වෙලාව දොළහයි තිස් දෙකයි.."
"මගෙත් දොළහයි තිස් දෙකයි."
"ඒ කියන්නේ අපේ වෙලාව හොඳට ගැලපෙනවා. අන්න දැන් තිස් තුන වුණා . බලන්න මිස් ඔයාගෙත් තිස් තුනද කියලා.. ඔයාගෙත් තිස් තුන නම් අපේ වෙලාවල් අන්තිම සුපිරි විදිහට  ගැලපෙනවා..."

තවත් දස මසකට පසු  අපි දෙන්නා විවාහයට සූදානම් වෙද්දී මගේ එකම පැතුම වූයේ මංගල්‍යය දවසේ විදුලිය එන හිටීමක් සිදු නොවේවා කියාය. අපි තෝරා ගත්  හෝටලයේ කළමනාකාර තැන කීවේ අඩුම තරමින් ජෙනරේටර මගින් පැය හතරක කාලයක් සදහා විදුලිය ලබා දිය හැකි බවයි. විවාහ දිනයේ විදුලිය ඇන හිටීමක් සිදුවීම අනාගතය ගැන කෙරෙනා අසුබ නිමිත්තක් යැයි සිතූ මම ජෙනරේටරයකින් විදුලිය ලබා ගැනීම කැඩී බිඳී යන්නට නියමිත අනාගත ප්‍රශ්න වලට පැලැස්තර ඇලවීමක් වැනි යැයි සිතුවෙමි. විදුලි විසන්දියක් නොවේවායි උදේ හවස බුදුන් ගෙන් ඉල්ලා සිටියෙමි. බෝධි පූජාවක් තැබුවෙමි. මහා ලොකු දෙයක් මට ඕනා නැත. වෙඩින්  එක දවස ලයිට් කපන්නේ නැතුව ගත වන්නේ නම් හොඳටෝම ඇති... මම නොපෙනෙන බලවේගයන්ට කිමි. මගේ යාඥාව ගැන නොපෙනෙන බලවේග සිතා බැලුවා විය යුතුය. අපේ මංගල දිනයේ ලයිට් කැපීමක් සිදුවූයේ නැත.

එහෙත් මගේ  ජීවිතයේ විදුලිය විසන්දි වීම ආරම්භ වූයේ මංගල දිනයෙන් පසුව මාස කීපයක් ගෙවී ගිය තැනය . අතුරුගිරිය පාරේ අලුත්  කුලී නිවසට පැමිණි පසු සෙනෙහස , කරුණාව , ඉවසීම නමැති තෙවර්ණ රැහැන් වලින් මම නිවස " වයර් " කළෙමි . පිරිසිදු බවේ , කාර්යක්ෂමතාවයේ  , සුපසන් බවේ විදුලි බල්බ සුදුසු තැන සවි කර පැය විසි හතර පුරාම නිවස ආලෝකමත් කළෙමි . විදුලි බල මණ්ඩලයට මාසයක් පාසා ලයිට් බිල ගෙවීමෙන් විදුලිය ලබාගෙන , අඳුර පළවා දැමිය හැකි මුත් ජීවිතය වෙලා ගන්නා අඳුර පළවා හරින්නට බිලක් ගෙවිය නොහැකිය. අපේ ජීවිතයේ මුල් අවදියේ දිනක , ලයිට් ගිය රැයක ඉටිපන්දම් දල්වා ගෙන , ඉස්තෝප්පුවේ ගල් පඩියේ වාඩිගෙන එකෙනෙකා ගේ සිරුරු ස්පර්ෂ  කරමින් සිටි මොහොතක "ඔයා මොනවද ජීවිතයෙන් බලාපොරොත්තු වෙන්නේ..?" යන අරුම ප්‍රශ්නය නිහාල් ගේ මුවින් පිටවිය.
"මහ ලොකු දෙයක් නෙමෙයි. මම දෙන ආදරයට වටිනාකමක්. මම දෙන ආදරය වගේම  ආදරයක්  මටත් හම්බ වෙනවා නම්... මම අනෙක් මිනිස්සුන්ට ගෞරව කරනවා වගේම අනෙක් මිනිස්සුත් මට ගෞරව කරනවා නම්.... එච්චරයි..." මම කිමි. ඒ වදන් වල අරුත ඔහුට වැටහුණා දැයි නොදනිමි.  ඔහුගේ මුහුණේ මතුවුණු හැගීම් පවා අඳුර නිසා හඳුනා ගන්නට මට නොහැකි විය. 
මගේ රටේ මිනිසුන් සැබෑ ලෙසම ආලෝකය දකින්නට ඇත්තේ විදුලි බලය රටේ නොතිබුණු කාලයේ නොවේදැයි මට සිතුණි . තෙල් පහන් දල්වා ගෙන ජීවිතය ගෙන ගිය කාලයේ අපේ ජීවිත  අදට වඩා ආලෝකමත්ව තිබෙන්නට ඇත. අද කාලයේ දවසකට පැය හය හතක් ලයිට් කපන බව සැබෑය . එහෙත් නිදහස ලැබූ දිනයේ සිට අපේ ජීවිත පැවතියේ අඳුරේ නොවේද..? රට කළ උන් අපේ ආලෝකය සොරා ගෙන තමන්ගේ ජීවිත එළිය කර ගත්හ.  දෛනික කටයුතු හැකි පමණ හොඳින් නිමකර, සාමකාමී , යහපත් දිනයක් ගත කරන්නට මිනිසුන් ගැහැනුන් දරුණු සටනක නිරත වෙති . විදුලිය ඇන හිටියේ නැති වුණත් දවස පුරාම ඔවුන්ගේ ජීවිත ගත වන්නේ අඳුරේය. බහුතරයක් ජීවිත වලට සදහටම ලයිට් කපා ඇතුවා සේය .  

මේ කියන දවසේ රැකියාව නිම කර , පුතුව මොන්ටිසෝරියෙන් උගුල්ලා ගෙන නිවසට විත්  මගේ නරුම සැමියා හට රාත්‍රී කෑම සූදානම් කරන මොහොතේ තව දුරටත් අඳුරේ ජීවත් නොවන්නට මම තීරණය කළෙමි . හැමදාම රෑට ඔහුගෙන් පහරක් කන්නට මට නොහැකිය. කෝපය අධික වූ දිනක ඔහු අතින් මා මියයනු නියතය. ලයිට් කැපීමේ ක්‍රියාවලියේ එකම වාසිය ලෙසින් මා දුටුවේ නිවස අඳුරේ ගිලුණු විට නිහාල් ගේ පහර වලින් ගැලවී සිටින්නට හැකි වීමයි. ලයිට් ගිය සැනින් ඔහු  නින්දට යයි. කරදරයක් නොවේ. අන්තිමේදී විදුලිය විසන්දි නොවේවායි මුළු රටම ප්‍රාර්ථනය කරද්දී  මා පැතුවේ ලයිට් කැපේවා කියාය. 

පහර දෙන්නට වැනි වැනී මා දෙසට පැමිණි නිහාල් , විදුලිය ඇන  හිටීම නිසා ගැසූ පහරේ ඉලක්කය වැරදී ගොස් බිම අද වැටුණි . පැය  කීපයක්ම ගතව ගියද ඔහු තවමත් නැගිට්ටේ නැත. ඔහුගේ සිරුරේ කිසිදු ජීවයක් නැති බව මට දැනේ. මගේ සැමියා ජීවිතය හැර ගියා වැනිය.
"නිහාල්... නැගිටින්න..වැඩට යන්න වෙලාව හරි..." පාන්දර පහට පමණ මම කීමි . තවමත් ලයිට් ආවේ නැත. අහල පහළ ගෙවල් වල නම් හෙමින් සීරුවේ විදුලි බල්බ දැල්වෙන්නට පටන් ගෙන තිබේ. අපේ නිවසේ නැත. එහෙත් මට දැනුණේ ලයිට් නැති වුණත් මෙතෙක් කිසි දිනක නො පැවති ආලෝකයක්  පැමිණ මගේත්  පුතුගේත් ජීවිත වෙලා ගෙන ඇතැයි කියාය.  

හොඳින් හිරු එළිය පැමිණි පසු තාත්තා මැරුණු බව පුතුට කිව යුතුය. පොලිසියට වාර්තා කළ යුතුය. 
"ලයිට් ගිය වෙලා මහත්තයා බිම වැටුණා සර්.. ඔලුව වැදෙන්න ඇති.. මම නිදාගෙන හිටියේ. කිසිම දෙයක් ඇහුණේ නැහැ.."මම කියමි.
"ඒ කියන්නේ තමා දැනගෙන හිටියේ නැහැ හස්බන්ඩ් ඇඳේ නැහැයි කියලා..."
"නැහැ සර්..."
"කීයටද ලයිට් ගියේ...?"
"අටට කපනවා කියලා තිබුණේ ..මම හරියටම වෙලාව බැලුවේ නැහැ.. හස්බන්ඩ් ට කෑම ටික මේසෙට ඇරලා තියලා මම නිදා ගත්තා... "
"තමා කියන්නේ බොරුවක් නේ..."
"නැහැ සර් .. මම මොකටද බොරු කියන්නේ..."
"ඊයේ මේ පැත්තේ කොහෙවත් ලයිට් කපලා නැහැ..මේ ගෙදර විතරක් කොහොමද ලයිට් ගියේ..."
"ඒක නම් දන්නේ නැහැ සර්..."
"බොරු කියන්න එපා.. තමුසේ මේ මිනිහව තල්ලු කෙරුවා නේද...? "
"නැහැ සර්.. ලයිට් ගියා.."
"කීයටද...?"
"අවුරුදු හතකට කළින් .."
"ඈහ්..?"
"මම මේ මිනිහව බැඳපු දවසේ ඉඳලම මගේ ජීවිතේට ලයිට් නැහැ සර්...."

ඔව් .
මේ  කියන දවසේ රැකියාව නිම කර , පුතුව මොන්ටිසෝරියෙන් උගුල්ලා ගෙන නිවසට විත්  මගේ නරුම සැමියා හට රාත්‍රී කෑම සූදානම් කරන මොහොතේ තව දුරටත් අඳුරේ ජීවත් නොවන්නට මම තීරණය කළෙමි . 
"පුතේ තව ටිකකින් තාත්තී  එයි.."
"හ්ම්ම් .."
"තාත්තී අදත් අම්මිට ගහයි..."
"හ්ම්ම්.."
"ඔයාට පුලුවන්ද පොඩි වැඩක් කරන්න..."
"මොකක්ද.."
"ඔයා හැංගිලා බලා ඉදලා තාත්තා නැගිටලා අම්මිට ගහන්න ආවොත් ට්‍රිප්  ස්විච් එක ඕෆ්  කරන්න පුලුවන්ද...? "
"අර ඊයේ ඕෆ් කරපු එකමද...?"
"ඔව් පුතේ ලයිට් ගියාම තාත්තී අම්මිට ගහන්නේ නැහැ.."
"හා.."
"ඔයා ඕෆ් කරනවද...?"
"හා ..."
පොලිස් නිලධාරින් දෙදෙනෙක් සහ නිලධාරිනියක් මදෙස බලා සිටිති. නිහාල් ගේ සිරුර ඉවත් කර තිබේ. ඔහු මගේ ජීවිතයෙන් ද ඉවත්ව ගොස්ය. 
"ඇත්ත කියනවා.. මොකද වුණේ ..?"
"මට එයාව මරන්න ඕන වුණේ නැහැ සර්.. ගුටිකන එකෙන් බේරෙන්නයි ඕන වුණේ ... "
අන්තිමේදී මම කිමි.


Nissanka Rajapaksa

unread,
Nov 27, 2023, 4:03:31 PM11/27/23
to INDRAKA group

26


බිපින් චෞද්රිගේ අමතක වීම

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

Translation of the Short Story ‘Bipin Chowdhury’s Lapse of Memory’ by Sathyajit Rai

හැම සඳුදාවක ම වැඩ ඇරී එන අතරතුර පොත් මිළදී ගැනීම සඳහා වෙළඳපොළේ කලිචරන්ගේ පොත් සාප්පුවට ගොඩ වැදීම බිපින් චෞද්රිගේ පුරුද්දක් විය. ඔහු සාමාන්‍යයෙන් මිළදී ගත්තේ අපරාධ ගැන ලියවුණු කතා, හොල්මන් කතා සහ ත්‍රාසජනක කතා යි. සතිය ගෙවාගැනීම සඳහා ඔහුට එක් වරකට පොත් පහක්වත් මිළට ගැනීමට සිදු විය. තනියම ජීවත් වූ ඔහු, සමාජ ආශ්‍රයට අදක්ෂ, වැඩි යහළුවන් නොමැති අයෙක් වූ අතර ඔහු අල්ලාප සල්ලාපයටද ප්‍රිය නොකළේ ය. ඔහුව මුණගැසීමට හවස් වරුවේ පැමිණෙන අය තමන්ගේ අවශ්‍යතාවය ඉක්මණින් සම්පූර්ණ කරගෙන පිටව ගියහ. එසේ නොගිය අයට, දොස්තර විසින් තමන්ට රාත්‍රී අටහමාරට රාත්‍රී කෑම ගන්නට නියම කර ඇති බව බිපින් බාබු විසින් රාත්‍රී අටට පමණ දැනුම් දෙනු ලැබේ. රාත්‍රී අහාරයෙන් පසු පැය භාගයක් විවේක ගන්නා ඔහු ඉනික්බිති පොතක් සමඟ ඇඳට යයි. වසර ගණනාවක් තිස්සේ ඔහු මේ පිළිවෙත නොකඩවා සිදු කර ඇත. 

අද පොත් සාප්පුවේදී කවුරුන් හෝ තමන් දෙස පරීක්ෂාකාරී ලෙස බලා සිටින බව බිපින් බාබු ට දැනුණි. ඔහු ආපිට හැරෙද්දී ඔහු ඉදිරිපස සිටියේ තරමක් නිවට පෙනුමක් ඇති රවුම් මුහුණකින් යුතු වූ මිනිසෙකි. 

“මහත්තයා මාව අඳුනාගත්තේ නැහැ මගේ හිතේ” ඒ මිනිසා පුළුල් සිනාවක් පෑවේය.

බිපින් බාබු ට අපහසුවක් දැනුණි. ඔහුට මේ මිනිසාව කිසි දිනක හමු වූ බවක මතකයක් නොවූ අතර ඒ මුහුණ ඉතා නුපුරුදු එකක් විය. 

“මහත්තයා ඉතින් බොහොම වැඩ අධික කෙනෙක්නෙ. වයිවාරන මිනිස්සුන්ව නිතර හම්බවෙනවා ඇති.’

“අපි මීට කලින් මුණගැහිලා තියෙනවාද?” බිපින් බාබු විමසුවේය.

ඒ මිනිසා මහත් සේ පුදුම වූ බවක් පෙන්වූයේය. “ඇයි මහත්තයා අපි සතියක් තිස්සේ දවස ගානේ හම්බවුණානේ. එක්දාස් නමසිය පනස් අට අවුරුද්දේ මහත්තයාට රාන්චි වල හද්රු ඇල්ල බලන්න යන්න මමනේ කාර් එකක් ලෑස්ති කළේ. මගේ නම පරිමාල් ගෝස්‌.”

“රාන්චි?”

වැරදීම සිදුව ඇත්තේ තමන්ට නොව මේ මිනිසාට බව බිපින් බාබු ට වැටහිණි. ඔහු කිසි දවසක රාන්චි වෙත ගොස් තිබුණේ නැත. කිහිප වතාවක් එහි යාමට සිතා සිටියත් ඊට අවස්ථාව ලැබුණේ නැත. මඳ සිනාවක් පෑ ඔහු මෙසේ ඇසුවේය.

“මම කවුද කියලා ඔහේ දන්නවාද?”

ඒ මිනිසා දෙබැම ඔසවා, දිව සපා ගත්තේය. “මම මහත්තයාව දන්නවාද අහන්නේ? බිපින් චෞද්රිව නොදන්නේ කවුද?”

එවිට බිපින් බාබු නැවතත් පොත් රාක්ක වෙත හැරී මෙසේ කීවේය. 

“කොහොම වුණත් තමුන්ට වැරදිලා. එහෙම දේවල් වෙනවා. මම කවදාවත් රාන්චි ගිහින් නැහැ.”

මෙය අසා මිනිසා හඬ නඟා සිනාසුණේය. 

“චෞද්රි මහත්තයා මොනවද මේ කියන්නේ? ඔබතුමා හද්රු වලදී වැටිලා දකුණු දණහිසත් තුවාල කරගත්තානේ. මමනේ ඒකට අයඩින් ගෙනාවේ. ඊළඟ දවසේ නෙතර්හත් යන්න මම කාර් එකක් ලැස්ති කරලා තිබ්බත් මහත්තයාට යන්න බැරි වුණා දණහිසේ වේදනාව නිසා. ඒ මුකුත්ම මතක නැද්ද? ඒ දවස්වල මහත්තයා දන්නා තව කෙනෙක් රාන්චි වල හිටියා. අර දිනේෂ් මුකර්ජි මහත්තයා. චෞද්රි මහත්තයා හෝටල් කෑම කන්න කැමති නැහැ කියලා බංගලාවක හිටියේ. මහත්තයාගේ කෑම ඉව්වේ කෝකියෙක්. මුකර්ජි මහත්තයා හිටියේ එයාගේ සහෝදරිය එක්ක. ඇයි මතක නැද්ද මහත්තුරු දෙන්නා සඳ ගමනය ගැන ලොකු බහින්බස් වීමක් වුණේ? මට තව විස්තර කියන්න පුළුවන්. මහත්තයා සිරි නරඹන්න ගිය හැම ගමනකදීම පොත් මල්ලක් අරගෙන ගියා. මම හරිද වැරදිද?” 

බිපින් බාබු තම දෑස පොත් රාක්කය වෙත රඳවාගෙනම සෙමෙන් පිළිතුරු දුන්නේය.

“ඔහේ කියන්නේ පනස් අටේ මොන මාසේ ගැනද?”

“පූජාවන් පටන් ගන්න ටිකකට කළින්, ඔක්තෝම්බර් මාසේ.” මිනිසා කීවේය.

“නැහැ ඔහේට වැරදිලා,” බිපින් බාබු කීවේය. “මම පනස් අටේ පූජා කාලේ ගතකළේ කාන්පුර් වල යාලුවෙක්ගේ ගෙදර. ඔබට සුබ දවසක්”

එහෙත් ඒ මිනිසා එතැනින් ඉවත් වූයේවත් කතාකිරීම නැවත්වූයේ වත් නැත. 

“හරිම පුදුමයි. එක දවසක් මම මහත්තයා එක්ක බංගලාවේ වැරන්ඩාවේ හවස තේ බිව්වා. මහත්තයා ඒ වෙලාවේ පවුලේ විස්තර මට කිව්වා. මහත්තයාට දරුවෝ නැති බවත් නෝනා මීට අවුරුදු දහයකට කලින් අන්තරා වුණ බවත් කිව්වා. මහත්තයාගේ එකම සහෝදරයා සිහි විකල් වෙලා මැරුණු නිසා රාන්චි වල මානසික රෝහලට යන්න තමන් අකමැති බවත් කිව්වා.” 

බිපින් බාබු පොත් වල මිළ ගෙවා සාප්පුවෙන් පිට වෙද්දීත් ඒ මිනිසා අදහාගත නොහැකි ලෙස තමන් දෙස බලාගෙන සිටිනු ඔහු දුටුවේය.

බිපින් බාබු ගේ මෝටර් රථය බර්ට්‍රම් පාරේ ලයිට්හවුස් සිනමා ශාලාව අසල ප්‍රවේශම් ලෙස නවතා තිබිණි. 

“සීතාරාම් ගංගා ගඟ අද්දරින් යමු” ඔහු රථයට ගොඩ වෙද්දී රියදුරුට කීවේය. 

ස්ට්‍රෑන්ඩ් මාවත ඔස්සේ යද්දී, ඒ කරදරකාරී මිනිසාට තමන් අවධානය දුන්නා වැඩි යැයි ඔහුට සිතිණි. තමන් කිසි දිනක රාන්චි නොගොස් තිබීම ගැන තර්කයක් තිබුණේ නැත. මීට අවුරුදු හය හතකට කලින් සිදු වූ එවැනි සිද්ධියක් තමන්ට අමතක වීම කිසිසේත්ම සිදුවිය නොහැක. ඔහු සතුව විශිෂ්ඨ මතකයක් තිබිණි. එහෙත්… බිපින් බාබු ට තම හිස බමන බවක් දැනිණි. 

තමන්ගේ සිහි කල්පනාව නැතිවෙමින් පවතිනවා විය හැකි බව ඔහුට හදිසියේ සිතුණි. 

එහෙත් එය සිදු විය හැක්කේ කෙසේද? වැදගත් ආයතනයක වගකීම් සහිත රැකියාවක් ඉසිලූ ඔහු දිනපතා තම කාර්යාලයට ගියේය. රැකියාව සම්බන්ධව මෙතක් කාලයක් කිසිම මහා පරිමාණ අඩුපාඩුවක් සිදුවූ බවක් ඔහුගේ මතකයේ නැත. අදත් ඔහු වැදගත් රැස්වීමක පැය භාගයක කතාවක් කළේ ය. එහෙත්…

පොත් සාප්පුවෙදී මුනගැසුනු මිනිසා තමන් ගැන බොහෝ දේ දැන සිටියේය. එසේ විය හැක්කේ කෙසේද? ඔහු තමන්ගේ සමහර අතිශයින් පෞද්ගලික කාරණා පවා දැන සිටියේය. තමන් යන තැන පොත් මල්ලක් ගෙන යන හැටි, බිරිඳ ගේ මරණය, සොහොයුරාගේ උමතු බව…. ඔහුට වැරදුනු එකම තැන තමන්ගේ රාන්චි ගමනයි. එය වැරද්දක් නොව හිතා මතාම කියූ බොරුවකි. පනස් අට වසරේ පූජා මාසයේදී ඔහු සිටියේ තම මිතුරු හරිදාස් බග්චි ගේ කාන්පූර් නිවසේ ය. හරිදාස් ට ලිපියක් ලීවා නම්- එහෙත් හරිදාස් ට ලිපියක් ලිවිය නොහැකි බව බිපින් බාබු ට හදිසියේම සිහි විය. ඔහුගේ අලුත් ලිපිනය ඔහු දැන සිටියේ නැත. 

එහෙත් මෙවැනි සාක්ෂි අවශ්‍ය වන්නේ කුමකටද? කුමක් හෝ හේතුවකට පනස් අට වසරේදී රාන්චි වල සිදු වූ අපරාධයකට පොලිසිය තමන්ව හසු කර ගැනීමට උත්සාහ කරනු ලැබුවේ නම් තමන් එහි නොසිටි බව ඔප්පු කිරීමට සිදුවනු අත. තමන් රාන්චි හි ගොස් නැති බව තමන් දන්නේ නම් එය ප්‍රමාණවත් බව ඔහු කල්පනා කළේ ය. 

ගඟ දෙසින් හමා ආ සුළඟ සුවදායක වූවත්, බිපින් බාබු ගේ සිතේ තරමක නොසන්සුන් බවක් දැවටෙමින් තිබිණි. 

මෝටර් රථය හේස්ටින්ග්ස් ප්‍රදේශය පසු කරද්දී බිපින් බාබු හදිසියේම කලිසමේ කකුල නවා තම දකුණු දණහිස දෙස බැලුවේය. එතැන අඟලක් පමණ දිග කැළලක් විය. මෙය සිදු වූයේ කෙසේදැයි සිහියට නඟා ගැනීම ඔහුට දුෂ්කර විය. තමන් කුඩා කල වැටී මේ තුවාලය සිදුවූවා විය නොහැකිද? එවැනි සිද්ධියක් සිහියට නඟා ගැනීමට උත්සාහ කළත් ඔහු ඊට අපොහොසත් විය. 

හදිසියේම ඔහුට දිනේෂ් මුකර්ජිව සිහි විය. ඔහුත් තමන් සමඟ එකම කාලයේදී රාන්චිහි සිටි බව කඩේදී හමුවූ මිනිසා කීවේය. කළ හැකි හොඳම දේ ඔහුගෙන් මේ ගැන ඇසීමයි. ඔහු විසූ බෙනිනාදන් වීදිය තමන්ගේ වීදිය ට කිට්ටුවෙන් තිබුණු අතර මේ දැන්ම වුව ඒ ගමන යා හැක. එහෙත් ඔහු පවා කිසි දිනක රාන්චි වෙත ගොස් තිබුණේ නැත්නම් මේ විමසීම ගැන ඔහු කුමක් සිතනු ඇතිද? බිපින් බාබු උමතු වෙමින් පවතින බවක් ඔහු අනුමාන කරනු අත. දිනේෂ් ගේ දරුණු උපහාස ගැන දැන සිටි බිපින් බාබුට දැනුණේ මෙසේ ඇසීම මහත් විකාරයක් වනු ඇති බවයි. 

වායු සමනය කරන ලද තමන්ගේ කාමරයේ ශීත බීමක් තොලගාමින් සිටිද්දී බිපින් බාබුට නැවත සැනසිල්ලක් දැනුණි. පොත් සාප්පුවේ මුනගැසුනු මිනිසාගෙන් තිබුණු කරදරයක්! අනෙත් අයට කරදර කරමින් තැන තැන යාමට වඩා වෙනත් රාජකාරියක් ඒ මිනිසාට නොමැති බව ඔහු අනුමාන කළේය. 

රෑ කෑමෙන් පසු, අලුතින් මිලදී ගත් ත්‍රාසජනක කතා පොතක් සමඟ උණුසුමට ඇඳේ පොරෝනා අතරට වැදුණු බිපින් බාබුට වෙළඳපොළේදී හමුවූ මිනිසා ගැන සම්පූර්ණයෙන්ම අමතක විය. 

නමුත් ඊට පසු දින, ගතවෙන හැම හෝරාවකදීම පෙර දවසේ සිදු වූ ඒ අමුතු හමුවීම තමන්ගේ සිත අරක් ගන්නා බව ඔහුට වැටහිණි. ඒ මිනිසා දෑස් විදහා පුදුම වූ හැටි, තමන් කී දේ අවිශ්වාස කර අවඥාවෙන් සිනාසුණු හැටි…! ඔහු බිපින් බාබුගේ පෞද්ගලික ජීවිතය ගැන මේ තරම් විස්තර දැන සිටියේ නම් ඔහුගේ රාන්චි ගමන ගැන වැරදීමක් සිදුවන්නේ කෙසේද?

දිවා ආහාර වේලාවට ප්‍රථම- දවල් එකට විනාඩි පහක් පමණ තිබියදී- බිපින් බාබුට තවදුරටත් මෙය ඉවසා සිටිය නොහැකි විය. දුරකථන නාමාවලිය අතට ගත් ඔහු දිනේෂ් මුකර්ජි ට ඇමතුමක් දෙන්නට සූදානම් වූයේය.

දුරකථනය ඔස්සේ මේ දැන්ම මෙය විසඳාගත යුතු බව ඔහු සිතුවේ මේ ප්‍රශ්නය නිසා ලැජ්ජාවක් ඇතිවූවත් එවිට තමන්ගේ මුහුණ මිතුරාට නොපෙනෙන බැවිණි. 

දෙකයි-තුනයි-පහයි-හයයි-එකයි-හය 

බිපින් බාබු දුරකතනයෙන් නොම්මරය කරකැවූයේය.

“හෙලෝ”

“දිනේෂ් ද? මේ බිපින්.”

“කොහොමද, කොහොමද? මොනවාද අලුත් තොරතුරු?”

“මම කතා කළේ එක්දාස් නමසිය පනස් අටේ වුණු සිද්ධියක් මතකද අහන්න.”

“පනස් අටේ? මොන සිද්ධියද?”

“මට මුලින්ම දැනගන්න ඕන අපි ඒ මුළු අවුරුද්ද පුරාවටම කල්කටාවේමද හිටියේ කියලා.”

“විනාඩියක් ඉන්න… පනස් අටේ නේද? ඉන්න මගේ දිනපොත බලනකම්”

විනාඩියක් ගතවෙන තුරු නිහැඬියාවක් පැතිරිණි. තම හද ගැස්ම වේගවත් වූ බවක් බිපින් බාබු ට දැනුණි. ඔහු තරමක් දහදිය දමමින් සිටියේය.

“හෙලෝ”

“ඔව්”

“හරි හම්බ වුණා. මම දෙවතාවක් කල්කටාවෙන් පිට ගිහින් තියෙනවා.”

“කොහෙද?”

“එක වතාවක් ළඟට ගිහින්…පෙබරවාරි මාසේ. ඥාති පුතෙක්ගේ මංගල්ලයක්ට ක්‍රිෂ්ණානගර් වලට. ඊළඟට.. මේක නම් ඔයාත් දන්නා ගමනක්, රාන්චි ගිය ගමන. ඔයාත් එහෙදි හම්බ වුණානේ. එච්චරයි. මොකද මේ රහස් පරීක්ෂක වැඩ කරන්නේ?”

“නැහැ මට නිකම් හිතුණා- කමක් නැහැ, බොහොම ස්තූතියි.”

බිපින් බාබු දුරකථනය වේගයෙන් අතහැර දෑතින්ම හිස බදාගත්තේය. ඔහුගේ හිස බමන බවක් ඔහුට දැනුණු අතර සීතලක් මුළු ඇඟ පුරාම පැතිරිණි. ඔහුගේ කෑම පෙට්ටියේ සැන්ඩ්විච් පෙති කිහිපයක් තිබුණත් ඔහුට ඒවා කෑමට සිතක් ඇතිවූයේ නැත. ඔහුගේ කෑම රුචිය සම්පූර්ණයෙන් ම අතුරුදහන් වී තිබිණි. 

දිවා ආහාර වේලාවෙන් පසු තවදුරටත් තම මේසයේ වාඩි වී රාජකාරියේ යෙදීම කළ නොහැකි බව බිපින් බාබුට වැටහිණි. ඔහු මේ ආයතනයේ සේවය කළ විසිපස් වසරටම මෙවැනි දෙයක් සිදු වූ පළමු වතාව මෙය විය. මහන්සි වී වැඩකරන අවංක සේවකයෙක් ලෙස ඔහු මෙහි නමක් දිනාගෙන සිටියේය. ඔහු යටතේ වැඩකළ සේවකයන් ඔහුට සැලකුවේ බොහෝ ගරුසරුවෙනි. මෙතෙක් කාලයක් බරපතලම ගැටළු හමුවේදීත්, නරකම අවස්ථාවන්හිදීත් බිපින් බාබු සන්සුන්ව ඒවාට මුහුණ දුන්නේය. නමුත් අද නම් ඔහුගේ මනස අවුල් වී තිබිණි. 

හවස දෙකහමාර වෙද්දී නිවසට ගිය ඔහු, තම නිදන කාමරයට ගොස් දොරගුළු ලාගෙන, ඇඳේ වැතිරී තම මනස සන්සුන් කරගැනීමට උත්සාහ කළේය. හිසට සිදුවූ අනතුරක් නිසා මතකය අහිමි විය හැකි බව ඔහු දැන සිටියේය. නමුත් එක් සිද්ධියක්- මෑතක වූ වැදගත් සිද්ධියක්- හැර අනෙත් සියලුම දේ මතකයට නැඟෙන මෙවැනි කිසිම අවස්ථාවක් ඔහු මින් පෙර අසා තිබුණේ නැත. රාන්චි පෙදෙසේ සංචාරය කිරීමට ඔහුට බොහෝ කල් සිට කැමැත්තක් තිබිණි. එබැවින් එහි ගොස්, විවිධ දේ කර තිබී ඒ කිසිවක් මතක නැති වීම සිදුවිය නොහැකි දෙයක් විය. 

රාත්‍රී හතට බිපින් බාබු ගේ මෙහෙකරු පැමිණ සෙත් ගිර්ධාරිප්‍රසාද් පැමිණ ඇති බව කියා සිටියේය. මේ ගිර්ධාරිප්‍රසාද් පොහොසත් ව්‍යාපාරිකයෙකු වූ අතර ප්‍රදේශයේ වැදගත් අයෙකු ද විය. ඔහු පැමිණ තිබුනේ කළින් වෙලාව වෙන් කරගැනීමෙනි. නමුත් බිපින් බාබු කෙතරම් වියවුලෙන් පසු වූයේද යත් තමන්ට ඇඳෙන් බැසීමට නොහැකි බව අමුත්තාට කියන මෙන් ඔහු මෙහෙකරුට කීවේය. වැදගත් අය යකාට ගියාවේ!

රාත්‍රී හතහමාරට මෙහෙකරු නැවත පැමිණියේය. ඒ වෙද්දී යන්තමින් නින්දට වැටී තිබුණු බිපින් බාබු මෙහෙකරු දොරට තට්ටු කරද්දී අප්‍රසන්න සිහිනයක් දකිමින් සිටියේය. ඒ පාර කවුද?

“චුනි බාබු ඇවිත් සර්, ලොකු හදිසියක් කියලා කියනවා.”

ඒ හදිසිය කුමක්දැයි බිපින් බාබු දැන සිටියේය. චුනිලාල් ඔහුගේ ළමා කාලයේ සිට මිතුරෙකි. මෑතක කරදර කිහිපයකට මුහුණ දී තිබුණු ඔහු රැකියාවක් ලබාදෙන්න යැයි බිපින් බාබු ට කරදර කරමින් සිටියේය. ඔහුව මගහැරීමට කෙතරම් උත්සාහ කළත් ඔහු නිරන්තරයෙන් ආපසු පැමිණෙමින් සිටියේය. මොන කරදකාරයෙක්ද!

අද තමන්ව මුනගැසීමට ඉඩකඩ නැති අතර ඉදිරි සති කීපයේදීත් ඊට ඉඩකඩ නොමැති බව ඔහු චුනිලාල් වෙත පණිවිඩයක් යැවීය.

නමුත් මෙහෙකරු කාමරයෙන් ඉවත් වූ මොහොතේම තමන් පනස් අටේ දී ගිය බව කියවෙන ගමන ගැන චුනිලාල්ට යමක් මතක තිබිය හැකි බව බිපින් බාබුට සිහි විය. ඔහුගෙන් ඒ ගැන විමසීමේ හානියක් නැත. 

ඔහු වේගයෙන් පහත මහලට දිව ගියේය. ඒ වෙද්දී චුනි ඉවත්ව යාමට සැරසෙමින් සිටියේය. බිපින් බාබු දැකීමෙන් ඔහු නතර වූයේ දෑසේ බලාපොරොත්තුවේ එළි දල්වා ගනිමිනි. 

නමුත් බිපින් බාබු අනවශ්‍යව කාලය නාස්ති කළේ නැත. 

“මේ අහන්න චුනි, මට දෙයක් අහන්න තියෙනවා. තමුසෙට හොඳ මතකයක් තියෙනවානේ, අනික දැන් අවුරුදු ගාණක් තිස්සේ මාව වරින් වර මුණගැහෙනවානේ. පොඩ්ඩක් ආපස්සට කල්පනා කරලා මට කියනවා- පනස් අට අවුරුද්දේදී මම රාන්චි ගියාද?”

“පනස් අටේද? පනස් අට වෙන්න ඕන. නැත්නම් ඒ පනස් නමයේ ද?”

“තමුසෙට විශ්වාසයිද මම රාන්චි ගියා කියාලා?”

චුනිගේ මුහුණේ ඇඳී ගිය පුදුමයට ඔහුගේ සිතේ ඇතිවූ කරදරකාරී බවත් මුසු වී තිබිණි.

“ඒ කියන්නේ උඹ ගිය බවට සැකයක් තියනවා කියන එකද?”

“ඇත්තටම මම ගියාද? තමුසෙට හොඳටම මතකයි ද?”

ඒ වෙද්දී සිටගෙන සිටි චුනි නැවතත් සෝපාවේ වාඩි වී, බිපින් බාබු වෙත දිගු, දැඩි බැල්මක් හෙලුවේය. 

“බිපින්, උඹ මොනවා හරි මත්වෙන ජාතියක් අරගෙනද? පහුගිය කාලේ නම් එහෙම කිසි දෙයක් නොගත්ත බව මම දන්නවා. මම දන්නවා උඹට පරණ යාළුකම් වලින් වැඩක් නැහැ කියලා ඒත් මෙච්චර කාලෙකට උඹට හොඳ මතකයක් තිබුණානේ. උඹට රාන්චි ගිය ගමන අමතක වෙලා කියලද ඔය කියන්නේ?”

චුනි තමන් වෙත හෙලූ සැක සහිත බැල්ම දරාගනු නොහැකිව බිපින් බාබු ට ඉවත හැරීමට සිදුවිය. 

“මගේ කළින් රස්සාව මොකක්ද කියලා මතකද?” චුනිලාල් ඇසුවේය.

“නැතුව, ට්‍රැවල් ඒජන්සියක නේ”

“උඹට ඒක මතකයි, ඒත් රාන්චි ගමනට ඔක්කොම ලෑස්ති කරලා දුන්නේ මම කියලා මතක නැහැ? මම ස්ටේෂන් එකටත් ආවා උඹව බස්සන්න. උඹ හිටිය මැදිරියේ විදුලි පංකාවක් වැඩ කළේ නැති නිසා මම ඒවා හදන කෙනෙක් ගෙන්නලා ඒක හැදෙව්වා. උඹට හැමදේම අමතක වෙලාද? මොකද වෙලා තියෙන්නේ? උඹ ටිකක් ලෙඩ පාටයිත් එක්ක.”

බිපින් බාබු සුසුමක් හෙළා හිස සැලුවේය.

“මම හිතන්නේ මම රස්සාවට මහන්සි වෙනවා වැඩියි,” ඔහු අවසානයේදී කීවේය. “ඒක වෙන්න ඕන හේතුව. ස්පෙෂලිස්ට් කෙනෙක් හම්බවෙන්න බලන්න ඕන”

චුනිලාල් තමන්ගේ රැකියා අවස්ථාව ගැන සිහි කිරීමක් නොකරම යන්නට ගියේ බිපින් බාබුගේ මේ අසනීප තත්ත්වය නිසා විය යුතුය. 


පරේෂ් චන්ඩා නම් දීප්තිමත් දෑසක් සහ උල් නාසයකින් යුතු වූ තරුණ වෛද්‍යවරයා බිපින් බාබු ගේ රෝග ලක්ෂණ අසා තරමක් කල්පනාබර විය.

“මේ අහන්න ඩොක්ටර් චන්ඩා,” බිපින් බාබු බැගෑපත් ස්වරයෙන් කීවේය. “මේ දරුණු ලෙඩේ කොහොම හරි හොඳ කරන්න ඕන. මේකෙන් මගේ රස්සාවට වෙන බලපෑම විස්තර කරන්න මට වචන නැහැ. දැන් කාලේ එක එක ජාතියේ බෙහෙත් තියෙනවනේ, මේ වගේ ලෙඩකට ගැලපෙන දෙයක් නැද්ද? මෙහෙ හොයාගන්න නැත්නම් මට පිටරටින් උනත් ගෙන්නා ගන්න පුළුවන්. මට කොහොමහරි මේ ලෙඩෙන් මිදෙන්නයි ඕන.”

වෛද්‍යවරයා හිස සැලීය.

“මම මීට කලින් කවදාවත් මේ වගේ ලෙඩක් දැකලා නැහැ චෞද්රි මහත්තයා. ඇත්තම කියනවා නම් මේක මගේ පළපුරුද්දෙන් එපිට දෙයක්. හැබැයි මට එක යෝජනාවක් කරන්න පුළුවන්. හරියයිද නම් දන්නේ නැහැ, ඒත් උත්සාහ කරලා බලන්න වටිනවා. ඒකෙන් හානියක් වෙන්නේ නැහැ.”

බිපින් බාබු උනන්දුවෙන් පුටුවේ ඉදිරියට බර විය.

“මට තේරෙන විදිහට- මම හිතන්නේ ඔබටත් මෙහෙම හිතෙනවා- ඔබ රාන්චි වලට ගිහින් තියෙනවා, ඒත් මොකක් නමුත් නොදන්නා හේතුවක් නිසා ඒ මුළු ගමනම ඔබේ මනසින් ගිලිහිලා. මම යෝජනා කරනවා ඔබට ආයෙමත් රාන්චි යන්න කියලා. එහෙ ගිහින් ඇවිදිද්දී ඔබට කළින් ගමන ආයෙත් මතක් වෙන්න පුළුවන්. මේක සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. ඊට වැඩිය දෙයක් නම් මට මේ වෙලාවේ කියන්න බැහැ. මම ඔබේ මනස සන්සුන් වෙන්න බෙහෙතකුත් නින්ද යන බෙහෙතකුත් ලියලා දෙන්නම්. නින්ද අත්‍යවශ්‍යයි, නැත්නම් ඔය රෝග ලක්ෂණ වැඩි වෙනවා.”

එක්කෝ නිදි පෙත්ත නිසා, නැත්නම් වෛද්‍යවරයා දුන් උපදෙස් නිසා පසුවදා උදෑසන වෙද්දී බිපින් බාබුට මඳ සහනයක් දැනුණි. 

උදෑසන ආහාරයෙන් පසුව කාර්යාලයට දුරකථන ඇමතුමක් ගත් ඔහු, උපදෙස් කීපයක් දී, එදිනම හවස් වරුවට රාන්චි වෙත යාමට පළමු පන්තියේ දුම්රිය ප්‍රවේශ පතක් වෙන් කර ගත්තේය. 


පසුදින උදෑසන රාන්චි දුම්රියපළින් දුම්රියෙන් බසිද්දීම තමන් මින් පෙර කිසිදිනක එහි පැමිණ නැති බව ඔහුට වැටහිණි. 

දුම්රියපළින් පිටවී කුලී රියකට නැඟුණු ඔහු, ටික වේලාවක් නගරය වටා සංචාරය කළේය. එහි ගොඩනැගිලි, හෝටල්, කඩ මණ්ඩි, මොරබාදී කන්ද ආදී හැම දෙයක්ම නුපුරුදු බව ඔහුට පැහැදිලි වූ අතර ඒ එකක් ගැන වත් ඔහුට කිසිම මතකයක් නොවිණි. හද්රු ඇල්ලට ගියහොත් යම් වෙනසක් විය හැකිද? එසේ නොවන බව ඔහුට හැඟුනත් සියලු අවස්ථා අත්හදා නොබලා ආපසු යාමට අකමැති වූ ඔහු හවස් වරුවේ හද්රු යාමට කුලී රථයක් සුදානම් කරගත්තේය.

එදිනම හවස පහට පමණ හද්රුහි සතුටු සවාරියක යෙදී සිටි ගුජරාටි මහත්වරු දෙදෙනෙකුට ගල් කුළක් අසල සිහි නැතිව වැටී සිටි බිපින් බාබුව දක්නට ලැබිණි. ඔවුන්ගේ සහයෙන් පියවි සිහියට එළඹී බිපින් බාබුගේ මුවින් පිටවුණු පළමු වැකිය නම්, “මම ඉවරයි, තව දුරටත් බලාපොරොත්තු තියාගෙන තේරුමක් නැහැ” යන්නයි. 

මීට පසු දින බිපින් බාබු නැවත කල්කටාවට පැමිණ සිටියේය. තමන්ට ගොඩ ඒමක් නොමැති බව ඔහු වටහාගෙන තිබිණි. නොබෝ කලකින් ඔහුට රැකියාවට ඇති කැමැත්ත, ආත්ම විශ්වාසය, ඔහුගේ සමත්කම්, මානසික ඒකාග්‍රතාව ආදී සියලු දේ අහිමි වනු ඇත. ඔහුටත් රාන්චි හි මානසික රෝහලටම යන්නට සිදුවේද? බිපින් බාබු තව දුරටත් කල්පනා කිරීමට අපොහොසත් විය. 

නිවසට ආ පසු ඔහු දොස්තර චන්ඩා වෙත දුරකථන ඇමතුමක් දී හවස් වරුවේ පැමිණෙන ලෙස දැනුම් දුන් අතර, නෑමෙන් පසු අයිස් සහිත මල්ලක් හිසට තබාගෙන ඇඳට වී සිටියේය. ලියුම් පෙට්ටියට දමන ලද ලියුමක් මෙහෙකරු විසින් ඔහු වෙත ගෙන එනු ලැබුවේ එවිටයි. කොළ පැහැති ලියුම් කවරයක් වූ එහි ඔහුගේ නම රතු තීන්තයෙන් ලියා තිබිණි. නමට ඉහළින් ‘පුද්ගලිකයි රහසිගතයි’ යනුවෙන්ද ලියා තිබිණි. තමන්ගේ අසනීප තත්ත්වයද නොතකා මෙය කියවිය යුතුම බව බිපින් බාබු ට හැඟිණි. කවරය ඉරා ලියුම පිටතට ගත ඔහු එය කියවන්නට විය. එහි සඳහන් වූයේ මෙලෙසයි.

“හිතවත් බිපින්,

පොහොසත් වෙද්දී ඔබ මේ ලෙසම වෙනස් වනු ඇති මා කිසි විටක සිතුවේ නැත. කරදරයට පත්ව සිටින පැරණි මිතුරෙකුට උපකාර කිරීම ඔබට මෙතරම් දුෂ්කර ද? මා හට මුදල් නොමැති නිසා මා ළඟ සම්පත් ඇත්තේ සීමිත ප්‍රමාණයකයි.. නමුත් මා සතුව පරිකල්පනය ඇත. ඔබගේ හිතක් පපුවක් නොමැති හැසිරීම වෙනුවෙන් පලි ගැනීමට මා පාවිච්චි කළේ ඉන් බිඳකි.

ඔබට පොත් සාප්පුවේදී මුණගැසුණු මිනිසා මගේ හිතවත් අසල්වැසියෙකි. දක්ෂ නළුවෙකු වන ඔහු, මා ඔහුට ලියා දුන් චරිතය මනා සේ රඟපා ඇත. දිනේෂ් මුකර්ජි කිසි දිනක ඔබ ගැන වැඩි කැමැත්තකින් පසු නොවුණු නිසා ඔහුත් මීට සහාය වීමට බොහෝ කැමති විය. ඔබේ දණහිසේ ඇති කැළැල, 1939 දී චන්ද්පාල් ඝාත් හිදී ඔබ ලණුවක පටලැවී වැටුණු අවස්ථාවක සිදුවූ තුවාලයක් බව ඔබට මතක්වනු ඇත.. 

දැන් ඔබට සුවවන බවට සැකයක් නැත. පොත් ප්‍රකාශකයෙකු විසින් මා ලියූ නවකතාවක් සලකා බලමින් පවතී. ඔහු එයට කැමති වුවහොත් මට ඉන් ඉදිරි මාස කීපය ගෙවා ගනු හැකි වනු ඇත.”

මීට 

චුනිලාල්”

වෛද්‍ය චන්ඩා පැමිණි විට “මට දැන් හොඳයි, රාන්චි වල කෝච්චියෙන් බැස්ස ගමන් හැමදේම මතක් වුණා,” යැයි බිපින් බාබු කීවේය.

“බොහොම දුර්ලභ සිදුවීමක්,” වෛද්‍යවරයා කීවේය. “මේ ගැන මම අනිවාර්යයෙන්ම වෛද්‍ය සඟරාවට ලියනවා.”

“මම ඔබට එන්න කීවේ,” බිපින් බාබු කීවේය. “රාන්චි වලදී වැටිලා මගේ කකුලේ වේදනාවක් තියෙනවා, මට වේදනා නාශකයක් ලියලා දෙන්න පුලුවන්ද ඩොක්ටර්?”



Nissanka Rajapaksa

unread,
Nov 27, 2023, 8:46:58 PM11/27/23
to INDRAKA group
සර්පයාගේ කෙටිකතාව ගැන කේ කේ කාව්‍ය තත්සර කියල හාදයෙක් එයාගෙ ලිපියක මෙහෙම කියනවා:

 //......... "ඕ නගරයට පැමිණියා ය" යනු බෝදිලිමා ගේ උත්පත්ති කතන්දරය සහ ඈඳුණු සිදුවීම් මාලාවක් කියවන්නා හමුවේ ගෙන හැර පාන්නට වෙන කෙටි කතාවකි. "ෆ්ලෝරසන්ට් පහන දෙකොණෙහි පණ ගැහෙමින් තිබිණි," යන වැකියෙන් ඇරඹෙන මෙම කතන්දරයේ පළමුවෙන් පාඨකයිනට දැන ගන්නට ලැබෙන්නේ 'විලි පහරමින්' සිටිනා කතක් පිළිබඳ ව ය. වෛද්‍යවරුන්ට අනුව, ඇය ගැබ්බර ව සිටි කාලයටත් වඩා ඇය විලි පහරන්නට වූ කාලය දිගු ය. එහෙයින් ඇය වෛද්‍යවරුන්ට නොවිසිඳීමට හැකි වූ ප්‍රහේලිකාවක් බවට පෙරළී තිබිණි. මෙම කාන්තාව තිඹිරිගෙයෙහි සිටිද්දී ම මරණයට පත් වන්නී ය. එබැව් පාඨකයනට සමන් කුමාර මහතා දන්වන්නේ මෙසේ ය: "විලි රැහැනේ එල්ලී හෑල්ලු නොවූ කුසින් ම ඈ ඇගේ ආත්මය මුදා හැරියා තමන්ගෙ මළකඳට අයිතිකාරයෙක් හොයන් එන්න." ජනයාගේ කටින් කට පැතිර ගිය කතන්දරයට අනුව, බෝදිලිමා උපත ලබා ඇත්තේ දරුවෙකු ලබන්නට සිටිය දී වේදනාවෙනි. ඒ මිය යද්දී ඇය, ඇගේ වේදනාත්මක මරණයට තුඩු දුන් ගැබ් ගැනීමට සම්බන්ධ වූ සිය සැමියාට වෛර බඳිනට වූවා ලු. මෙයාකාරයෙන් ඇරැඹෙන මෙම කතන්දරය එක්තරා අවස්ථාවක දී පාඨකයින් හමුවේ බෝදිලිමා ගේ පළමු ගොදුර පිළිබඳ යම් හැඳින්වීමක් කරන්නට වෙයි. බීමත් ව පැමිණෙන අයෙකු වන ඔහු, තම පිටේ ඇතිල්ලෙන කබල්ලෑවෙකු බඳු සතෙකු සිය පිටේ තබාගෙන නිවෙස බලා යන්නේ ඒ තලගොයෙකු බව ද, ඌ කට ගැස්මට සුදුසු බව ද කියමිනි. මේ යන අතරවාරයේ දී ඔහුගේ 'දැං කිසිම වැඩක් පලක් නොගන්න අවයවයේ' තලගොයා ගේ නැට්ට පැටලැවී තිබෙන වග සඳහන් කරනා කතුවරයා, ඔහු සිය ඡේදනය වී ගිය රහසඟ මිට මෙළැවුණු සුරතේ ගුලි කරගෙන දොරකඩ අසළ වැටී සිටි වග පවසයි. එම සිද්ධිය සිදු ව, ඉන් ඉදිරියට සිදු වූ දේවල් පිළිබඳ ව ද විස්තර කරන්නට කතුවරයා පෙළඹෙයි. අවට පරිසරයේ කටුස්සන් දකිත හැකි වග ද කතුවරයා පවසන්නේ ය. හැරල්ඩ් පින්ටර් ගේ The Dumb Waiter නාටකයේ සිදුවීමක් සිහි කැඳවමින් මෙවැනි සටහනක් ද කතුවරයා යොදයි: "සෙල්ලං බත් උයඋය ඉන්නකොට දිව දික්කළැයි කියලා අක්කෙක් මලයගෙ දිව කාලා. ඒත් බිම වැටිලා තිබ්බෙ ජුන්ඩෙක්." ඉනික්බිති ඔහුගේ ජීහ්වයෙන් ලේ වැගිරෙන වග ද, ඇය ව මග්ගොනට යවන්නට තීරණය වුණු වග ද, ඇය සිය ගවොම ඔසොවා ඔහුට සමච්චල් කළ වග ද, ඔහුගේ රහසඟ ඔහුගේ සොයුරිය සතු ව තිබූ වග ද කතන්දරකරුවා පවසයි. මෙවන් සිදුවීම් නිරූපණයේ දී චිත්ත රූ මවන විෂුවල් ඉමේජරි නම් සිද්ධාන්තය ද, මායාමය ගුණ ද, විකාරරූපී ගුණ ද කතුවරයා උපයෝගි කරගන්නේ ය. ඉනික්බිති, රබර් මිශ්‍රිත පුරුෂ ලිඟු නිපදවන කම්හලක උපත පිළිබඳ ව ද, අභිසරු ලියන් හට රැකියා නොමැති වීම පිළිබඳ ව ද, අඹුව සැමියාගේ රහසඟ තිබේදැයි පරීක්ෂා කිරීමේ චාරිත්‍රයක යෙදුණු වග ද කතුවරයා පවසයි. සත්ත්වවේදීන් ගේ මතය ද, බෝදිලිමා ගේ චරිතය පදනම් ව නිමැවුණු චිත්‍රපට පෙළක ද ආගමනය පිළිබඳ ව පවසන කතුවරයා, බෝදිලිමා ගේ ලිඟු ඡේදන වැඩපිළිවෙළ අඩු ව ගිය වග ද පවසා ජාතික වීරයකුගේ පිළිමයක් අසළට වී විලි පහරන කතක් ද, බෝදිලිම් යක්ෂයින් පලවා හැරෙන කෙමක් පිළිබඳ ව චිත්ත රූ මවමින්, කතන්දරය අවසන් කරන්නේ ය. කතුවරයා පුරාණ විශ්වාසයක් පදනම් කරගෙන කතන්දරය ගෙතීමේ අපූර්වත්වය ද වෙසෙසින් අගය කර යුතු ය. .......//

සර්පයාගේ කෙටිකතා සහ කවි කියවන්න කැමති කෙනෙකුට ඔහුගේ බ්ලොග් අඩවිය මේ 👇
(එල්ලවිය හැකි විරෝධය හේතුවෙන් නැවත මෙහි අලවන්නේ නැත.)

Nissanka Rajapaksa

unread,
Nov 28, 2023, 9:45:10 PM11/28/23
to INDRAKA group
27
ලොක්කි

- ශාන්ති දිසානායක 


ඉඟි බිඟි පෑමක් නැතුව ඇද හැළුණු අකල් වැස්සෙන් ඇය අන්දමන්ද වූවාය. නිල් පැහැ සේද රෙදි කඩක් මෙන් බැබළුණු අහස පුරා උවැසි සෙයියාවෙන් සක්මන් කළ වලාකුළු පවා සුදෝ සුදු පුළුන් කැබිති සේම වැස්සක වගක් විත්තියක් සිහි නොකළේය. එහෙයින් ඇය පළමුව විමතියෙන් ඇස් අයාගත්තාය. දෙවනුව ඇගේ ළය රිදුම් දුන්නේය.

“දෙයියනේ... මගේ ගල් ටික...“ යි හූල්ලමින් ඇය වත්ත පහළට දිව්වාය. හිටි හැටියේ අතරමඟ නතර වී,

“අත් දෙකෙං වහන්ඩද අප්පේ අත් දෙක හොල්ල හොල්ලා දුවන්නේ...“යි තමාටම දොස් පවරා ගත්තාය. නුදුරෙහි දරගෙය තුළින් ඉටි රෙද්දක් පිටතට ඇද ගත් ඇය කෙමෙන් වේගවත් වන වැස්සේම ගල්ගොඩ කරා වේගයෙන් දිව්වාය.

“අනේ දෙයියනේ... තෙමුණොත් දියවෙලා යයි... එපා... එපා වහින්ඩෙපා....“

වසර ගණනාවක් මුළුල්ලෙහි අව්වෙන් වැස්සෙන් බැට කමින් සෙමින් වුවද නිශ්චිතව දිරාපත් වන මහගෙදර හැර යාමේ සිතිවිලි මාත්‍රයක් පවා ඇය තුළ නොතිබිණි.

මල්ලිගේ තනි නොතනියට තවත් කොලු පැටියෙක් ගෙදර ගෙන එන්නට ඉස්පිරිතාලේ ගිය අම්මා ආපසු ආවේ හැල හොල්මනක් නැතුව ලාබ හා බාල පෙට්ටියක වැතිරී ගෙනය. එහෙත් ඇගේ ගර්භාෂයේ පුරා නව මසක් නිහඬව හුන් බිලිඳා පිටත ලෝකයත් ආලෝකයත් නුරුස්සන්නාක් මෙන් අතොරක් නැතිව හඬා වැටුණේය.

“අප්පේ..... මං දැං මොකද කරන්නේ? මං කොහොමද මේ ලේ කැටියෙක් ලොකු කරගන්නේ?“ යි ඇගේ තාත්තා ඉහ අත්බදා ගනිමින් වැලපුණේය.

“ලොකු කෙල්ලගේ ඉස්කෝලෙ ගමනත් නවතී මේ කිරිකැටියා තියාගත්තොත්. අතුලත් ලබන අවුරුද්දෙ ඉස්කෝලෙ බාර දෙන්ඩෝනැනේ.“ යි කියමින් ඔහුගේ සහෝදරිය රැහැයියෙක් පරයමින් මොර දෙන දරුවා දෑතින් ගත්තාය.

“අක්කට පුළුවන්ද ඒ ගෙදරත් ළමයි දෙන්නෙක් ඉද්දි මේ ළමයත් හදන්ඩ?“

විමලසිරි විමතියෙන් සහ වේදනාවෙන් ප්‍රශ්න කළේය.

“වෙන මොකක් කරන්ඩද...? ලලිතගෙ හත්දවසේ පින්කම ඉවර වුණා කියලා මං මොන හිතකිංද දාලා යන්නේ..? උඹ මල්ලියේ කුඹුරට යන්නැද්ද..? මේ චාන්දනිය ඉස්කෝලෙ යන්නැද්ද?“

ඔහුගේ දෙතොල සලිත වුවද වචනයක් පිටතට නොආවේය.

“ලලිතා... අනේ ලලිතා මොකක්ද මේ වුණේ?“ යි මහ හඬින් හඬා වැටෙන්නට වුවමනා වූයෙන් ඔහු යටි තොල සපා ගත්තේය.

“අනේ චාන්දනියො ඔය පොඩි එකාට අම්මා ලෑස්ති කරපු ඇඳුම්... කොට්ට ටික එහෙම ඔන්නොය මල්ලකට දාලා දීපංකො...“ යි ලොකු නැන්දා ඉල්ලා සිටි කල චාන්දනී යුහුසුළු වූවාය.

අම්මාගේ අකල් මරණයට නිමිත්ත වූ බිලිඳු සොයුරා දෙස බලන්නට පවා ඇය මැළි වූවාය.

“මේ ළමයා මැරිලා අපිට අපේ අම්මා ඉතුරු වුණා නං“ යි ඇයට නිතර දෙවේලේ සිතිණ.

“අක්කේ...“

අතුල කියන්නට අර අදින්නේ කුමක්දැයි අනුමාන කරන්නට නොවෙහෙසුණු ඇය අලංකාර වූද හුරුබුහුටි වූද ඇඳුම් පොඩි එකිනෙක බෑගයක ඇසිරුවාය.

“ඇයි අක්කේ?“

අතුල කුහුලින් දැවුණේය.

“ලොකු නැන්දා බබා ගෙනියන්ඩද හදන්නේ?“

“නැතුව ඉතිං අපි හදන්නෙ කොහොමද...?“

ඔහු තොටිල්ල වෙත නැඹුරු වූ‍ෙය් මහත් ශෝකයෙනි.

මවු දෙතන ද මවු උකුල ද අහිමි කිරිකැටියා හැඬීමෙන් වෙහෙසට පත් නියාවෙන් නින්දේ පසු විය.

ගතව ගිය දින දහය මුළුල්ලේ ඔහුගේ කුසගිනි නිවා දමන්නට තරම් යාබද නිවෙසක අලුත් අම්මා කෙනෙක් කාරුණික වූවාය.

“අනේ බීපුදෙං... මගේ කෙල්ලට බීලා ඉවර කරන්ඩ බෑ මගේ තනේ කිරි. කෙල්ලො කොහොමත් කොල්ලො වගේ කෑදර නෑ කිරි බොන්ඩ.“ යි කියමින් ඇය විටින් විට බිලිඳාට කිරි පෙව්වාය.

“උඹේ ළමයට දැං අවුරුද්දකටත් කිට්ටුයි. මේ අලුත උපං ළමයට උඹේ කිරි දිරවන එකක් නෑ“ යි වැඩිහිටි ගැහැනියක කී කළ ඇය වාද කළාය.

“අනේ කට වහගෙන ඉඳිං නැන්දම්මේ... එතකොට උඹ කියන්නෙ මේ ළමයා රෑයියෙක් වගේ අඬනවා බලං ඉන්ඩ කියලද? එළකිරි හරි පිටිකිරි හරි දෙනවට වඩා හොඳ නැද්ද මවුකිරි ටිකක් දෙනේක...“

අපේක්ෂා නොකළ ඒ වාග් ප්‍රහාරයෙන් පසුබැස උන්දෑ ඉවතට ඇදුණේ නොනවත්වා තොල් මතුරමිනි.

“දැං ඉන්න එකීලට යකෝ හොඳක් නරකක් කියන්ඩ බෑනේ...“

සොයුරිය බිලිඳු පුත්‍රයා රැගෙන යාම අස්වැසුමට කරුණක් වුවද “ළමයට කිරි කොහොමද අක්කේ?“ යි අසන්නට විමලසිරිට සිහිපත් වූයේ අවසන් මොහොතේදීය.

“ඒක කොහොම හරි කරගන්ඩ බැරියැයි මල්ලියේ...“

නිශ්චිත පිළිතුරක් නොලද්දෙන් ඔහු අසහනයට පත් විය. එහෙත් තවත් කිසිවක් අසන්නට පැකිළුණේය.

“අනේ ලොකු නැන්දේ බබා ගෙනියන්ඩ එපා...“ යි අතුල බැගෑපත් විය.

“ඇවිල්ල බලල යන්ඩ බැරියැයි.... මහ දුරක්යැ...“

පිරිමි ළමයා සිය සොයුරිය වෙත දිව ගියේය.

“අපි තියාගමුකො අක්කේ.... අපේ බබා අපි තියා ගමුකෝ“

ඇය ඔහු දෙස රවා බැලුවාය.

“අනේ මේ... සද්ද නොකර ඉන්නවද... මට ඉස්කෝලෙ යන්ඩ ඕනෑ... බබ්බු බල බල ඉන්ඩ බෑ මට...“

“මං බලා ගන්නං... අනේ අපේ මල්ලිනේ... අපේ චූටි මල්ලිනේ...“

ඔහුගේ දෙනෙත පිරුණු කඳුළු පවා ඇගේ සිත මොළොක් නොකරයි.

“ඔයාට ඕන්නං ඔයා තියාගන්ඩ... මට නං බෑ චූ රෙදි හෝදන්ඩයි... කක්කා ඇරං දාන්ඩයි...“

ඇගේ අකරුණාවෙන් කිපුණු කොලුවා ඇයට පහරක් ගැසුවේය.

“මොකද මේ? අපේ මල්ලි මේ... මට කියන්ඩෙපා... ගිහිං තාත්තටයි ලොකු නැන්දටයි කියන්ඩ. මොන විකාරයක්ද මේ...?“

අතුල කාමරයෙන් පිටතට දිව්වේ “තාත්තේ“ යි හඬ ගාමිනි. ඒ උච්ච ස්වරයෙහි ගැබ්වූ ළතැවුල හද පාරන තරමට දැඩිය.

චාන්දනී සිය බිලිඳු සොහොයුරා වඩාගන්නට නැඹුරු වූ ඇසිල්ලෙහි ඒ ආශ්චර්යය සිදු විය.

මොළකැටි ඇඟිලි අතර ඇගේ සුළැඟිල්ල සිර වූයේ අහම්බෙන් විය යුතුය. එහෙත් ඒ ස්පර්ශය විදුලි සැරයකට නොදෙවෙනිව ඇගේ සිරුර කලඹාලීය. දහතුන් අවුරුද්දක අක්කා දින දහයක් වයස්ගත මල්ලි අබියස අසරණ වූවාය. ඇගේ සිත අපමණ ස්නේහයෙන් පුරවාලමින් ඔහුගේ තරු කැට වන් දෑස දිලිණ. ඒ පොපියන දෙතොල මත සිනාවක් නැඟිණි දැයි නොදකින්නට තරම් ඇගේ දෑස බොඳ විය.

“මල්ලි... මගේ චූටි මල්ලි...“

ඇය ඔහු වඩාගත්තේ නැන්දණියට බාර දෙනු පිණිස නොවේ.

“දෙන්නෑ... දෙන්නෙම නෑ...“

ඇගේ පියා සහ නැන්දණිය වික්ෂිප්ත කරවන තරමට ඇගේ ස්වරය උස් හා අධිෂ්ඨාන සහගත විය.

“චාන්දනී?“

විමලසිරි හෙළු තරවටු බැල්ම ඇය පහසුවෙන් නොතකා හැරියාය.

“එපා... එපා... අපේ චූටි බබා ගෙනියන්ඩ එපා“ යි අතුල ද නොනවත්වා හඬා වැටුණේය.

“අපිට මේ ළමයා හදන්ඩ බෑ චාන්දනී... උඹට තේරෙන්නෙ නැද්ද? උඹ ඉස්කෝලෙ යන්නෙ නැද්ද?“

“නෑ.. මං ඉස්කෝලෙ යන්නෑ...“

අමරා පෙරට පැන්නේ දරුවා උදුරා ගන්නා සිතිනි.

“මෙන්න මෙහෙ දියං ළමයා... ඉස්කෝලෙත් නොගිහිං ළමයි හදන්ඩ මොන වයසක්ද උඹට... යංතං දැනමුතු වුණා විතරයි..“

මහානර්ඝ මාණික්‍යයක් මෙන් බිලිඳා ළයට තුරුලු කර ගත් චාන්දනී “බෑ බෑ... දෙන්නෙ නෑ...“ යි කෑගෑවාය.

“උඹවත් තේරුං කරලා දීපංකො මල්ලියේ මේ මෝඩිට.“ අමරා මඳක් පසුබසිමින් විමලසිරි දෙස බැලුවාය.

“කියන දේ අහපං මයෙ අම්මා... ටිකක් ලොකු වුණාම අපි මල්ලිව එක්කරගෙන එමු..“

ඔහු බැගෑපත් විය.

“බෑ... බෑ...“

මේ කලහය නොඉවසන්නාක් මෙන් බිලිඳා හඬන්නට පටන් ගත්තේය.

“ළමයෙක් පරක් කර ගන්ඩ තේරෙනවද ළමයෙකුට?“

අමරා කෝපයෙන් ද ශෝකයෙන් ද උතුරා ගියාය. එහෙත් අක්කා සමඟ අතුල ද එක් වූයෙන් ඇය හා විමලසිරි අසරණ වූ සෙයකි.

“ලොකු නැන්දා යන්ඩ... චූටි මල්ලි දෙන්නෙ නෑ නෑ මයි“

අක්කට වඩා හයියෙන් කෑගැසුවේ මල්ලීය.

“අපේ මල්ලි... අපේ මල්ලි දෙන්නෙ නෑ... නෑ... නෑ... නෑ“

අක්කා ද අයියා ද පරයා අත දරුවා ද හඬන්නට වූයෙන් වැඩිහිටියන්ගේ එඩි බිඳිණ. ඔවුන් පරාජිත සෙයියාවෙන් ආපසු හැරුණේය.

“මේ ළමයි දෙන්නා රවට්ටාගෙන හීං සැරේ ගෙනියන්ඩ බැරියැ... අක්කා තව ටික දවසක් ඉඳලම යන්ඩ“ යි විමලසිරි ඉල්ලා සිටියේ බැරිම තැනය.

“මං මෙහෙ ඉඳලා කොහොමද? මගේ කෙල්ලො දෙන්නා ඉස්කෝලෙ යන්නෙ නැද්ද? අර මනුස්සයා හේනට කුඹුරට යන්නෙ නැද්ද...“ යි ඇය සොහොයුරා වෙත කඩා පැන්නාය.

නැඟණිය හෝ තමාගේ දරුවන් සමඟ තවදුරටත් වාද විවාද කරනවා වෙනුවට ඔහු නිශ්ශබ්දව සිටින්නට තීරණය කළේය. අවස්ථාව කොතෙක් සංකීර්ණ සහ අසීරු වුවද නිහඬව සිටීම හැරුණුකොට අන් කළ හැකි කිසිවක් නැතැයි ඔහු අවබෝධ කරගෙන සිටියි.

ඒ නිහැඬියාව චාන්දනීට හා අතුලට ආශිර්වාදයක් විය.

“ඕන එකක් කරගන්න එකයි ඇත්තේ... මං නං ආයෙ ඇහැක් ඇරලා බලන්නෑ....“ යි සියලු දෙනාටම පොදුවේ දෝෂාරෝපණය කරමින් අමරා පිටව ගියාය.

“චූටි මල්ලිගෙ ඇඳුම් ටික දෙන්ඩ“ යි කියමින් ඇඳුම් බෑගය ද උදුරා ගන්නට තරම් අතුල අකාරුණික විය.

“මට කොල්ලෙක් නැතුවට නෙමේ මං ඔය ළමයා හදාගන්ඩ හිතුවේ. උඹලට කරකියාගන්ඩ බැරි හිංදා. වඳින්ඩ ගිය දේවාලේ ඉහේ කඩා වැටෙනවා කියන්නේ ඔව්වට තමා...“

අමරාගේ හඬ කන වැකුණ ද විමලසිරි අතක් පයක් නොහෙල්ලුවේය. මළගමට ද පිංකමට ද වෙහෙසුණු බැවින් ඔහුට දැඩි වෙහෙසක් දැනිණ. ඒ කොතෙක්ද යත් ඔහුගේ දෑස නිතැතින්ම පියැවිණ. ඒ පරිද්දෙන් දෙකන වසා ගන්නට බැරි නිසාම ඉනික්බිති ගතව ගිය කාලය මුළුල්ලේ ඔහු අනේක යෝජනා හා චෝදනා ආදියෙන් හෙම්බත් විය.

“මොකද ආයෙ නාකි වෙලාද...? අර ගෑනු ළමයට ඉස්කෝලෙ යන්ඩත් පුළුවං වෙයි. විමලෙ මල්ලි ගෑනියෙක් ගෙනාවා නං හරිනෙ.. නිකං නිස්කාරණේ කට්ටියම දුක් විඳිනවා.“

එහෙත් නැවත විවාහ වීමට ඔහු අදිමදි කළේය.

“මිනිස්සු කාලා බලන්ඩද අප්පේ... ගේන ගෑනි හොඳට හිටියොත් හොඳයි... මගේ අහිංසකයො මේ කොහේවත් ඉන්න පිට ගෑනියෙකුගෙං ටොකු කන්ඩ තරං කාලකණ්ණි වුණොත් මං මොකද කරන්නෙ... ඊට මීට හොඳයි මෙහෙම ඉන්නෙක. අඩු ගානෙ හිතේ සැනසිල්ලෙ ඉන්ඩ බැරියැ. එකම දුක කෙල්ලගෙ ඉස්කෝලෙ ගමන නැවතිච්චි එක..“

ඒ දීර්ඝ උත්තරය ඒ අයුරින්ම බාර නොගත් උදවිය සමඟ වාද විවාද කරන්නට ද ඔහු පැකිළුණේය.

වැඩිමලී කිසිදු කන්කෙඳිරියක් නොනඟා ගෙදර දොරේ වැඩපළද සොහොයුරන්ගේ සියලු කටයුතු ද නොපිරිහෙලා ඉටු කිරීමෙන් ඔහු ලද්දේ අපමණ සහනයකි. එමෙන්ම ඇය ඇගේ වයසට නොසරිලන අයුරින් වෙහෙසෙන බව සිතමින් කණස්සල්ලට ද පත්විය.

සිය සොහොයුරන් වෙනුවෙන් වෙහෙසීමෙන් චාන්දනී ලද්දේ අපමණ සන්තුෂ්ටියකි.

අතුල පාසල් යැවීම ද සමන්ට කැවීම පෙවීම ද හිරිහැරයකැයි ඇයට කිසි විටෙකත් නොසිතිණ.

එහෙත් වයසින් වැඩෙත්ම කොල්ලන් දෙදෙනාටම ඇය හිරිහැරයක් වූ ගානය. තාරුණ්‍යයේ ප්‍රමෝදය විඳින්නට ඇය ඉඩ නොදෙන බව ඔවුන්ට සිතුණා නිසැකය.

විමලසිරිගේ මරණයෙන් පසු ඇය තවදුරටත් සිය සොහොයුරන් වෙත බැඳුණාය. ඇගේ අත් අඩංගුවෙන් පළමුව පලා ගියේ අතුලය. ඒ සඳහා ඔහුට උපකාර වූයේ ඉගෙනීමට ඔහු තුළ වූ සහජ දක්ෂතාවයයි.

“හා... හා බලාගෙන“

ඉටි රෙද්ද පයට පෑගී ඇද වැටෙන්නට නියමිත ගැහැනිය වත්තන් කර ගත් සරත් සමාව අයදින බැල්මක් හෙළුවේය. ඇය ස්පර්ශ කිරීමෙන් තමා වරදක් කළ බවක් හඟිමිනි.

“අනේ මගේ ගල් ටික“ යි හූල්ලන්නට වුවමනා නොවීය.

මහ වැස්සකට වුව නොතෙමෙන පරිද්දෙන් ගල් ගොඩ මනාව ආවරණය කොට තිබිණ.

“වැහැගෙන එද්දි මට මතක් වුණා... ඒකයි දුවගෙන ආවේ...“

ඇය තවමත් තමාගේ අත ගසා නොදැමීම පිළිබඳව පුදුමයට පත් වෙමින් වුව ඔහු පැහැදිලි කළේය.

ස්තූති කරන්නට හෝ දෝෂාරෝපණය කරන්නට බැරි තරමට ඇගේ දෙතොල සැලිණ.

මෙතෙක් පසු කර ආ සියලු දුක්ඛ දෝමනස්සයන් වෑයමින් වුව විඳ දරා ගත්ත ද මේ කරුණාව ඇයට ඉවසිය නොහැක.

“තෙමුණොත් වැඩක් නෑ... දියවෙලා යනවා.. අපරාදෙනෙ මෙච්චර මහන්සි වෙලා කපා ගත්තු ගල් ටික“

ගල් කපන්නට හා පුළුස්සන්ට වඩාත් වෙහෙසුණේ ඔහුය.

“ගල් කපන්නෙ මොකටද?“ යි ඔහු නොඇසුවේය.

“මෝඩ ගඩොල්වලට වඩා බ්ලොක් ගල් හොඳයි... ඒත් ඉතිං එව්වා ගණංනෙ“ යි නොකියන්නට ද ඔහු වගබලා ගත්තේය.

“අතුල ආයෙ එන්නෑනේ. ටවුමට හුරුවිච්චි මිනිහට මේ ගංගොඩ වෙල් අල්ලන්නෑ. සමන් කසාද බැන්දා කියලා ආයෙ වත්ත පල්ලෙහා කාමර කෑල්ලක් අටවගන්ඩ තරං මොකද වුණේ..? නෑනලාට එකට ඉන්ඩ අමාරුයි තමා... ඒ වුණාට සද්ද නැතිව හිටියා නං ඉවරයිනෙ චාන්දනියෝ...“ යි උපදෙස් දෙන්නට ඔහු නොසිතුවේය.

“කසාදයක් බැඳගත්තා නං මේ මුකුත් නෑනේ... මල්ලිලා මල්ලිලා කියලා නැහුණට මොකද අන්තිමට තනි වෙච්චි එක විතරනෙ වුණේ..“ යි ඇගේ හද පාරන්නට ද තැත් නොකළේය.

“මං කොච්චර අඬ ගැහුවද මාත්තෙක්ක එන්ඩ කියලා. කෝ ඇහුවද... අපේ අම්මා ඔත්පලේ නොවැටෙන්ඩ මං කසාදයක් බඳින්නෙත් නෑ...“යි අතීතය සිහිපත් කරන්නට ද නොවෙහෙසුණේය.

“තෙමෙනවා නේද?“ යි ඔහු ඇසුවේ පහත් හා මෘදු හඬිනි.

ආපසු හැරී දිව යනවා වෙනුවට ඇය ඔහුට තවත් තුරුලු වූවාය. හිස තෙමා රූරා හැලෙන වැසි දිය සමඟ ඇගේ කඳුළු ද මුසු වූ බව ඔහු නොදත්තේය. එහෙත් ඇගේ සැලෙන දෙවුර ඇය ඉකි බිඳින බවට ඔහුට කේලම් කියයි.

“අ... අඬන්න එපා චාන්දනී...“ යි ඉල්ලා සිටියද

“මං ඉන්නවනේ“ යි කියන්නට ඔහු අපොහොසත් විය. එහෙත් ඇය වැලඳ ගන්නට ඔහු පසුබට නොවිණ.

තුඟ තුරු සිරස මත පතිත වර්ෂාව හේතුකොටගෙන අතු ඉති නමා වැටේ.

“ඉන්ඩ බැරි නං දාලා යන එක තමා හොඳ... කිරි බොන කාලෙ වෙච්චි දේවල් බත් කන එකාට මතක නෑ චාන්දනී. මොනවා කරන්ඩද...“

වැස්සේ සීතල වෙනුවට ඇයට අපූරු උණුසුමක් දැනිණ. ඊට ලොබින් ඇය තවත් තදින් ඔහුගේ ළයමඬලෙහි මුහුණ ඔබා ගත්තාය.

“නාඩා හිර කරගෙන ඉන්නවට වඩා අඬනෙක හොඳයි“ කී ඔහු ඇගේ හිස සිප ගත්තේය.

 https://archives1.silumina.lk/2021/07/24/%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%92/%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%92

Nissanka Rajapaksa

unread,
Nov 29, 2023, 4:57:15 PM11/29/23
to INDRAKA group

28
අපටත් දවසක ඉර පායාදෝ

මහාචාර්ය ඒ වී සුරවීර
(ගොදුරු ලොබ -1973 කෙටි කතා සංග්‍රහයෙන්)



Nihal Ananda

unread,
Nov 30, 2023, 10:36:27 AM11/30/23
to ind...@googlegroups.com
අපටත් දවසක ඉර පායාදෝ
-මහාචාර්ය ඒ වී සුරවීර

මේ කතාව ........ මට නම් හිතෙන්නේ  'ව්‍යාජයක් " ,
මහාචාර්ය තුමාගේ  හිතළු කතාවක්. 

Nissanka Rajapaksa

unread,
Nov 30, 2023, 4:11:18 PM11/30/23
to INDRAKA group
29
"පොල් ගසකින් බැස පැමිණි ආදරය "

- මංජුල සේනාරත්න 
  
    වයස අවුරුදු තුන හතරක් වුණු කාලයේ, නිතර හඬන්නියක වූ මා සන්සුන් කර ගැනීමට තාත්තා කළේ වඳුරෙකු මෙන් වෙස් ගෙන, දුවමින්, පනිමින්, මුවින් හඬ නැගීමයි.  තාත්තා ගේ මේ රංගනය දකින මට සිනහව නවත්වා ගන්නට නොහැකි විය.

      මෙවැනි එක් දිනක  මා හඬනා විට වඳුරු වෙස් මවා ගත් තාත්තා මිදුලේ තිබූ පොල් ගස දිගේ නගින්නට පටන් ගත්තේය.  එහෙත් ඔහු බසින්නට පෙර  පය මාරු වී ගසෙන් බිමට වැටුණු විට,  ඒ වැටිල්ලත් තමාගේ රංගනයේම කොටසක් ලෙස පෙන්නුම් කරන්නට   උත්සාහ කළද එය අසාර්ථක උත්සාහයක් විය . එදා රාත්‍රී කෑමෙන් පසු නින්දට ගිය තාත්තා යළි නැගිට්ටේ නැත. ඔහු  මෙලොව අතහැර ගියේ මොළය අභ්‍යන්තරයේ ඇති වුණු ලේ ගැනීමක් නිසාය.

     තාත්තා ගේ මරණයට වග කිව යුත්තා මා බව කියූ අම්මාගේ චෝදනාව විසි වසරක් පුරා , මා විවාහ වන තුරුම පැවතුණි. වසරක ප්‍රේම ගැලීමකින් පසුව නාවිකයෙක් ලෙස රැකියාව කළ රුක්ෂාන් සමග විවාහ වුණු මගේ නවාතැන වූයේ  කළුතර, පනාපිටියේ, ඇට්ටර වත්තේ, වෙන්දේසි ඉඩමක  නිවසකි.  එය වනාහි මැද  පෙරදිග  කාන්තාරයක ඉදිවුණු නිවසක පදිංචියට පැමිණියාක් වැනිය. වෙන්දේසි වත්තටම පිහිටියේ අප නිවස පමණි.  පේන මානයක ගහක් කොළක් තිබුණේ නොවුණු අතර  පර්චස් විස්සේ ඉඩම් දෙකකට එහා තිබුණු  කුඩා වන ගොමුවක් මැද නැගී සිටි පොල් ගසකි. එහි ගෙඩි නැති බව දුර සිට වුව පෙනේ. 
"වඳ පොල් ගහ මොකට තියා ගන්නවද කපන්නේ නැතුව... "  මගේ තනියට නිවසේ නවාතැන් ගෙන සිටි තාර වර්ණ හමක් හිමි, තාරාවෙකු මෙන් ඇවිදින නැන්දා නිතර කීවාය. තාත්තා මිය ගිය දා සිට පොල් ගස් වලට වෛර කළ මට උදේ පාන්දර  පොල් ගහ දකිද්දී ඇති වූයේ කේන්තියකි. මුළු දවසම මේ වඳ ¨පොල් ගස  නිසා කාලකණ්ණි වන්නේ යැයි යන හැගීම සිතේ ඇතිව තිබුණි .
    මිය  යන තුරා ආදරයෙන් වෙලී යාත්‍රා කරන්නට  ගිවිස ගෙන, විවාහයෙන් එක්තැන් වූ පසුව සොයා ගත නොහැකි සිදුරු තුළින් ගලා ආ ලුණු රසැති ජලය නිසා ගිලී ගිය නෞකාවක්  බඳු විය අපේ විවාහය . මගේ සැමියා ගෙදර ආවේ මාස හයකට වරකි. එසේ පැමිණ ගත කරන දෙසතියෙන් වැඩි කාලයක්  ඔහු  මිතුරන් සමග ගෙවා දැමූ නිසා  අනාගත සැළසුම් ගැන කිසිදු කතා බහක් ඇති වූයේ නැත.  එපමණක් ද නොව විවාහයේ පළමු වසර නිම වෙද්දී වටහා ගත නොහැකි හේතුවක් නිසා ඔහු මා සමග හුවමාරු කර ගත් වදන් ප්‍රමාණය අඩු කළේය. මාසයක් පතා වියදමට ප්‍රමාණවත් මුදලක් අතට ලැබුණි. වඳ පොල් ගහ හැරෙන්නට වෙන නපුරු දසුනක් පෙනෙන්නට නොතිබුණු නිසා මාස  හයකට වරක් පැමිණ වැඩි වදනක් නොදොඩා,  දෙවරක්, තෙවරක්  මගේ සිරුරේ සැරි  සරා යළිත් වරක් සාගරය සොයා යන සැමියා කෙරෙහි කෝප නොගන්නට මම තීරණය කළෙමි .

   උදා වූ එක් උදෑසනක. වඳ පොල් ගහට දෙස් තියමින් දවස ආරම්භ කළ මම, සුදු කඩදාසියක් මත  වර්ණයෙන් සිතුවමක් නිම කරන්නට නොහැකි නිසා  පොල් අත්තේ හැඩය ඉදලකින් මිදුලේ සටහන් කරන්නට පටන් ගතිමි. නාදුනන පිරිමි කටහඩක් ඇසුණෙන්  හැරී  බැලූ විට ගේට්ටුවෙන්  එහා පැත්තේ, නිවස ඉදිරිපිට සිටියේ වයසට කළින් වයසට ගිය මිනිසෙකි.  මට තිබුණේ වඳ පොල් ගස් ඵල ගන්වන රුවක් නොවේ. පොල් මල් තලා මධුවිත පෙරන්නට හැකි බැල්මක් ද නොවේ. එහෙත් මා දුටු විට කිළිටු ඇඳුමෙන් කෘශ කය වසාගෙන සිටි මිනිසා ගේ තලෙළු වත තැඹිලි පැහැ ගත්තේය. "පොල් " භාගයක් බී මත් වූවාක් වැනි විය. 
"මොනවද හොයන්නේ... ?" මම ඇසුවෙමි.
"නෝනා..  පොල් හෙම කඩන්න තියනවද...?"
"පොල්...? මේ වත්තේ පොල් ගහක් පෙන්න තියනවද..? පැත්ත පළාතක පේන්න තියනවාද...?"
"නැහැ නෝනා.."
"එහෙනම්  කොහෙන්ද කඩන්නේ...?" මිනිසා බොහොම අසරණ විලාසෙන් යන්නට ගිය පසු මගේ කෝපය ගැන පසුතැවිලි වුණෙමි. 
 "කව්ද දන්නේ මොකාද කියලා..දවල්ට ඔත්තු බලලා රෑට මංකොල්ල කනවලු. අර නඳුන් මාවතේ ගෙයක් කඩලා. ගෙදර ගෑනිගේ බෙල්ල කපලා.." නැන්දා කීවාය. 
"අපේ ගෙදට්ට පැන්නොත් හෙම මගේ බෙල්ල තමයි කපන්නේ.. නැන්දගේ බෙල්ල හොයා ගන්න බැරි හින්දා නැන්දා බේරෙනවා.." නැන්දාට නොයෙක් ඇනුම් පද කී නිසා ඇය හැකි පමණ මගෙන් ඈත්ව සිටින්නට උත්සාහ කළාය. කෙසේ හෝ වේවා පහුවැනිදා උදෑසනත් ගේට්ටුව ඉදිරිපිටට පැමිණි මිනිසා අහිංසක බැල්මක්  මා වෙත දමා ගැසූ විට මුවින් ගිනි දළු පිට කරනා මකරෙකු මෙන් ඔහු දෙස රවා බැලුවෙමි. ඔහු යන්නට ගියා නොවේ. වාෂ්ප විය.
    වතු දෙකකට එහායින් ඇති වඳ පොල් ගස දිගේ බඩගාන මිනිසාව මට පෙනේ. ඔහු නම් සැබෑ පොල් කඩන්නෙකි. තත්පර ගණනක් ඇතුළත ඔහු ගසට නැග්ගා නොව ගස දිගේ ඇවිදගෙන ගියාක් වැනිය. එහෙත් එය වඳ පොල් ගසක් යැයි ඒ මෝඩයාට පහළ සිට පෙනුණේ නැතිද..? බිම ඉඳන් ඉහළ බැලූ විට ගෙඩි නැති බව වටහා ගන්නට තරම් දුර පේන දෑසක් ඔහුට නැතිද..? ගෙඩි නැති බව දැන ගෙන යළිත් පහළට බසින මිනිසා වටපිට බැලුවේය. මගේ රුව ඔහුගේ ඇස  ගැටෙද්දී, මොහොතක් නැවතී වම් අත වනන්නට පටන් ගත් විට මම ගස්සා ගෙන ගෙට ඇතුළු වුණෙමි. පොල් කඩන ඒ "පෙරේතයාට " මට අත වනන්නට තරම් ධෛරියක් සිතට ආවේ කෙසේද..? යළිත් මුහුණට මුණ ගැසුණු විට "හොඳවායින් දෙකක්" කියන්නට මම තීරණය කළෙමි.

      මේ ගස් නගින්නා අපූරු සතෙකි. අද්භූත මිනිසෙකි. අඩුම  තරමින් දවසකට දෙතුන් වතාවක්  මේ වඳ පොල් ගසට නැග, එහි මැද නතර වී අපේ නිවස දෙසට නෙත් යොමු කරගෙන සිටීම ඔහුගේ  පුරුද්දක්ව බවට පත් විය.  ඔහු මේ පොල් ගසට නගින්නේ මා දෙස  බලා සිටින්නට බව පැහැදිළිය. දුරින් සිට මදෙස බලා සිටීමෙන් ඔහු සරළ ආත්ම තෘප්තියක් ලබනවා විය හැකිය. ඔහු මානසික අසමබරතාවයකින් පෙළෙන්නෙක් විය හැකි මුත් දරුණු පුද්ගලෙකු වීමේ ඉඩකඩ නම් අඩුය.  අහම්බෙන් හෝ අපේ නෙත් ගැටුණු විටක, ආයාසයෙන් මවා ගන්නා අහිංසක සිනහවෙන් මුව පුරවා ගෙන එක අතක් චලනය කිරීම ඔහුගේ සිරිතයි. පොල් ගස් නගින මිනිහෙකු  හෝ වේවා සැගවී  නොසිට මදෙස බලා සිටීම සිතට ගෙනාවේ යම්  ආකාරයක සතුටක් බව කිව යුතුය. උදෑසන මිදුලට පය තබනා මම වඳ පොල් ගසේ අඩක් නැග මදෙස බලා සිටිනා මිනිසා දකිමි. ඔහුගේ දසුන මගේ  වියළි මුවට ගෙන ආවේ තෙත සිනහ රැල්ලකි.

    රාත්‍රී කාල වලදී, පොල් ගසට නැග නිවස දෙස බලා සිටිනා මිනිසා ගේ රුව මම සඳ එළියෙන් දුටිමි. එවිට නිදන කාමරයේ පහන් දල්වා ජනේලය අසළින් කීප වතාවක් එහා මෙහා යන්නට වූ මම වරෙක හීස පීරන්නට වීමි. වරෙක හඬ නොනගා කාමරයේ සිටින  කවුරුන් සමග හෝ කතා කරන බව ඇගවීමි. මිනිසා මගේ දර්ශනයෙන් කුල්මත් වුණා සිකුරුය. මා දෙස බලා සිට සිහින මාලිගා තනන අසරණයා ගැන වරෙක සිතේ සංතාපයක් ඇති විය. පෝය  දවසට පසුව හෙමින් සීරුවේ සඳ එළිය හීන වී යන අයුරු දැක මසිත දුකින් වෙලී ගියේ යන්තමින් හෝ පෙනෙන ඔහුගේ රුව අඳුරේ ගිලී යන නිසාය. එය වනාහී මසකට පුර පෝ දින කීපයක්ම මා බලාපොරොත්තු වුණු අවදියයි .
එසේ වුවද එක දිනයක ඔහු අතුරුදහන් විය. යළි ආවේ නැත.

    මගේ ජීවිතය පරිපූර්ණ දිවියක් නොවන බව මම දැන  සිටියෙමි. විවාහය යනු කාන්තාරයක්  මැද  පිහිටි නිවසකට වී වඳ පොල් ගසක් දෙස බලා සිටීම නොවේ. මගේ ජීවිතයත් ඒ වඳ පොල් ගස මෙනි. කිසිදු ඵලක් නොදරා, පොළොවේ සාරය, තෙතමනය උරා ගනිමින් නැගී සිටින මේ වඳ පොල් ගහෙන් ලොවට වැඩක් නොවේ. ග්‍රීසියේ නම නොදන්නා ගමක මගේ සැමියා ලාංකික කාන්තාවක් සමග දිවි ගෙවන බව සැක හැර දැන ගන්නා මම ඵල රහිත දිවියට සමු දෙන්නට සිතුවෙමි. විවාහයෙන් නික්මෙන මට යන්නට තිබුණේ තාත්තාගේ මරණයට වගකිව යුත්තා මා යැයි තවමත් චෝදනා කරනා අම්මාගේ කුලී නිවසට පමණි. 
     මාස කීපයක් ගෙවී යද්දී ලොකු වැටුපක් නොලබන පිළිගැනීමේ නිලධාරී රැකියාවක් සොයා ගන්නට මට හැකිවිය. ඉතුරු කර ගත හැකි මුදලක් නොවුණත්, අම්මාගේ  කන්දොස් කිරියාවෙන් බේරෙන්නට තිබූ එකම මාර්ගය වූයේ නිවසින් පිටව සිටීම පමණි. මෙසේ ගතව යන කාලයේ එක් වැසිබර උදෑසනක, හෝමාගම හන්දියේ පෞද්ගලික බසයක් සමග සටන් වදින්නට සැරසෙද්දී"නෝනා පොල් කඩන්න එහෙම තියනවද..?" යන වදන් මට ඇසුණි. මා ඉදිරියේ සිටියේ එදා දුටු වැරහැලි හැඳ ගත්  අපිරිසුදු මිනිසා නොවේ. අලුත්, වටිනා ඇඳුමින් සැරසුණු, පැහැපත් කඩවසම් අයෙකි. නවීන පන්නයේ වාහනයකින් බැස  අවුත් මා ඉදිරියේ සිටගෙන සිරියාවන්ත සිනහවකින් ඔහු මට සංග්‍රහ කරද්දී මගේ මගේ දෙපා මට  හිමි නැතැයි සිතුණි. 

වඳ පොල් ගසකට නැග මා දෙස බලා සිටි මිනිසා , ඉන් අනතුරුව සෑම උදෑසනකම හෝමාගම බස නැවතුම් පළේ මා එනතුරු නැවතී සිටියේය. 
"නෝනා කැමති නම් මම ගිහින් දාන්නම්.  හවස් යාමේ ආයේ ගන්න එන්නම්.." ඔහු බැගෑපත් වෙයි. නැගපන් මෝඩියේ නැගපන්..:අපායට ගියත් බෙන්ස් කාර් එකකින් නේ.. යන අදහස රැඳුනු බැල්මෙන් මදෙස බලා සිටින මිනිසුන් ගැහැනුන් පිනවන්නට එක් දිනක මම ඒ සොඳුරු වාහනයට නැගුනෙමි. නග්ගාට පසුව බහින්නට හිත නොදෙනා වාහනයකි එය. ඔහුගේ නම ශ්‍රීමාල් නම් විය.   එය පොල් ගස් නගින්නෙකුට සුදුසු නමක් නොවේ. 

"මම සිය වාරයක් විතර ඒ වඳ පොල් ගහට නැග්ගා. නැගලා නෝනලාගේ ගේ දිහා බලාගෙන හිටියා. දෙපාරක් ළඟට දැක්කාම පෙනුනේ නැති ලස්සනක් මම ඈත ඉඳලා දැක්කා. නෝනා වගේ කෙනෙක්ව අයිති කර ගන්න  කවදාවත් මට පුලුවන් වෙන්නේ නැහැයි කියලා මම දැනගෙන හිටියා. නෝනාගේ මහත්තයා නම් හරිම වාසනාවන්ත මිනිහෙක් කියලා මට හිතුනා... " 

 මගේ රැකියාවෙන් පසුව අප හමුවුණු එක් වතාවකදී  මේ විස්තරය ඔහු මා හමුවේ තැබුවේය. අපි දෙදෙනා ගාලු මුවදොර පෙනෙන නොපෙනන මානයේ පිහිටි සුඛෝපභෝගී අවන් හළක වාඩිගෙන සිටියෙමු . 
"මම මහත්තයාගෙන් ඩිවෝස් වුණා ..."
"ඒ කියන්නේ නෝනා දැන් තනිකඩ ද.. ?" ධාරානිපාත වරුසාවකින් නොව නොනවතින "හිරිකඩ" නිසා උතුරා යන "වක්කඩ" ක නොසන්සුන් බව මුහුණේ සටහන් කර ගත් මම "තනිකඩ" යැයි හඟවමින් සිනහසුනෙමි. එවිට ඔහුගේ දෙනෙතේ විහිදී ගිය විජ්ජු ලතා නිසා මසිත විදුලියකට හසු විය.
      වසරක් තුළ  අදහා ගත නොහැකි ලෙස ඔහු ධනවතෙකු බවට පත්ව සිටීමේ කතාව අසා ගැනීමට වූයේ දැඩි වුවමනාවකි. හෝමාගම හන්දියේ   හමුවීමෙන් තෙමසකට පසු උඩුවන ප්‍රදේශයේ ඔහු තැනූ නිවසේ මම පදිංචියට පැමිණියෙමි. ඔහුගෙන් පැමිණි විවාහ යෝජනාව පිළිගැනීම, නියගයට හසු වුණු  මගේ දිවියට මල් වැස්සක් වැටුණා මෙන් විය. ඒ මිනිසා සියලු සැප සම්පත් මට ලබා දී ජීවිතය තෝතැන්නක් බවට පත් කළේය. අවසානයේ මගේ ජීවිතය පරිපූර්ණ තැනක් වූවා යැයි මට සිතුණි.

කළෙක ඔහු පොල් කඩා ජීවිකාව සරිකර ගත් මිනිසෙක් බව ඇත්තය. එහෙත් ඔහු හොරෙකු, තක්කඩියෙකු නොවේ. හරි හැටි පැහැදිළි නොමැති වුණත් අද දවසේ ඔහු ව්‍යාපාර කීපයකම යෙදී සිටිනා බව පෙනේ. නිවසේ මෙහෙකාරියකි. වත්තේ වැඩට මිනිසෙකි. ඔහුගේ ආදරය සිතේ සගවා ගෙන සිටින්නාක් නොවේ. ඒ ආදරය අනේක සැළකිලි වලින්, තෑගී බෝග වලින්, කාරුණික වදනින්, හාදුවලින්, ස්පර්ෂයෙන් මට හිමිවේ. ජිවිතයෙන් තවත් බලාපොරොත්තු වන්නට දෙයක් මට නොවිණ. උදෑසන අවදි වී ගෙවත්තට පා තබන මා දකින්නේ ඵලින්  බර වෘක්ෂයෝය. 
"අර ගස් දෙකේ පොල් පිරිලා. කඩා දැම්මා නම් හොඳයි නේද..?" මම සේවකයාට කීමි.
"හරි නෝනා .. ගස් යන උං හොයා ගන්න නැහැ නෝනා ..මම ටවුමට ගිහින්  බලන්නම්.." ඔහු කිවේය. මගේ මුවේ ඇතිවුණු සිනහව සේවකයා දුටුවේ නැත.  
සෑම පිරිමියෙකුටම තම බිරිඳගෙන් සඟවා ගන්නා දෙවැනි චරිතයක් තිබෙන්නට පුළුවන. මගේ ප්‍රථම සැමියා තමන්ගේ වංක ජීවිතය මගෙන් වසන් කළ අයෙකි. දෙවැන්නා ද එසේම විය යුතුය. වසරකට පෙර, ඔහු පොල් කඩන්නට ගෙයින් ගෙට ගිය මිනිසෙකි. අද දවසේ ඔහු හරිහැටි පැහැදිළි නැති ව්‍යපාර හිමි, විශාල නිවසක අයිතිකරුවෙකි. උදෑසන කාලයේදී ඔහු තමන් හමුවන්නට පැමිණෙන මිනිසුන්ට උපදෙස් දෙයි. සාකච්ඡාවේ යෙදෙයි. අනතුරුව පිටව ගොස් , අඳුර වැටෙන්නට පෙර නිවසට විත් රාත්‍රිය මා සමග ගත කරයි. අන්තිමේදී ඉවසා දරා ගෙන සිටින්නට නොහැකි තැන වසරක් ඇතුළත මේ අයුරින් ධනවතෙකු වූයේ කෙසේදැයි මම විමසුවෙමි. 
"මට නිධානයක් හම්බ වුණා .."
"ඔයා නිදන් හාරනවද..?"
"හැම නිධානයක්ම හාරන්න ඕනා නැහැ නෝනේ.. සමහර ඒවා අත ළඟම තියනවා. ඇහැ ඇරලා බලන්න විතරයි ඕනා .."
"ඔයා වැරදි වැඩ කරන්නේ නැහැනේ..."
"නැහැ බය වෙන්න එපා.."
  මේ අසම්පූර්ණ ජීවිතයේ වඩා වැදගත් වන්නේ රහස් නොවේ. කිසිදිනක ප්‍රාර්ථනා නොකළ ආදරය, සෙනෙහස, සැප පහසුකම් ලැබෙන විට නො වුවමනා ප්‍රශ්න ඇසීමෙන් වළකින්නට මම උත්සාහ කළෙමි . ඇතැම් විටක ජීවිතය ස්පර්ෂ කළ යුත්තේ මතුපිටින් පමණි. හාරා අවුස්සන්නට යාම අපේ පැවැත්ම සංකීර්ණ කරන්නට පුළුවන.

 
 සැමියා ව්‍යාපාර කටයුත්තක් වෙනුවෙන් දුර බැහැරක ගොස් සිටි, ධාරානිපාත වැස්සක් වැටෙන රාත්‍රියක, ආහාරයෙන් පසුව, නෙරා ආ කුස තුළට වී, සෙල්ලමට මා කැඳවා ගන්නට උත්සාහ කරනා සිගිති ජිවියාව සංසුන් කරමින් මම රූපවාහිනිය දෙස බලා සිටියෙමි. නිවේදිකාව මෙවැනි පුවතක් මවෙත ගෙන ආවාය.
"කළුතර පනාපිටියේ, ඇට්ටර වත්ත ප්‍රදේශයේ වසර දෙකකට පමණ පෙර සිදුවුණු රුපියල් මිලියන ගණනක් වටිනා රන් ආභරණ සහ මැණික් මංකොල්ලයට වගකිව යුතු තැනැත්තා අත්  අඩංගුවට ගන්නට පොලිසිය සමත් වී තිබෙනවා. පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දුන් මේ පුද්ගලයා පවසා ඇත්තේ ඇට්ටර වත්තේ තිබූ එක වඳ පොල් ගසක කරටියේ තමා මංකොල්ල කෑ සියලුම දෑ  සඟවා තැබූ බවයි. ඔහුගේ මේ අරුම පුදුම සගවා තැබීම ගැන පොලිස් පරීක්ෂක ජානක වීරසිංහ අප සමග මෙසේ අදහස් දැක්වූවා ...
"මේ තැනැත්තා වාර කීපයකදීම පොල් ගස් කරටිවල මෙවැනි සගවා තැබීම් කර ඇති බව පාපොච්චාරණය කළා. එහෙත් මේ වතාවේ ඇට්ටර වත්තේ ඔය කියන වඳ පොල් ගසේ සගවා තැබූ රන් ආභරණ අතුරුදහන් වෙලා තියනවා. ඒ කියන්නේ හොරාවත් තවත් අයෙක් කොල්ල කාලා කියන එක. ඒ එක්කම අපිට දැන  ගන්න ලැබුණා ඇට්ටර වත්ත ප්‍රදේශයේ පොල් කැඩූ අයෙක් වාර කීපයකදීම කිසිම හේතුවක් නැතුව මේ පොල් ගසට නැග්ග බව. එහෙම නැගලා ඔහු ඒ අසළ තිබුණු ගෙයක් දිහා නිතරම බලා හිටියලු. මේ ගස් නගින තැනැත්තා දැන් අතුරුදහන්. ඒ විතරක් නොවෙයි ඒ නිවසේ පදිංචිව සිටි කාන්තාවත් සොයා ගන්නට නැහැ. අපේ ඊළඟ මෙහෙයුම වන්නේ මේ ගස් නගින්නා සහ නිවසේ පදිංචිව සිටියා යැයි කියන කාන්තාව සොයා ගැනීමයි. අපිට හොඳටම විශ්වාසයි මේ දෙදෙනා අතර යම් සම්බන්ධතාවයක්  තිබුණා කියා....."

රූපවාහිනිය නිවා දැමූ මම ජනේලය අසළට ගොස් වැස්ස දෙස බලා සිටියෙමි. අඩු වැඩි නොවී එකම ලතාවකට වැටෙන මහ වැස්ස යටින් මගේ සැමියා ගේ වාහනය ගෙවත්තට ඇතුළු විය.
"පොල් ගහේ බාගෙට නැගලා  නෝනා දිහා බලාගෙන ඉන්නකොට මම නෝනව දැක්කේ කවදාවත් ලබා ගන්න බැරි නිධානයක් වගේ. ඒත්  මම දැනගෙන හිටියේ නැහැ ඒ නිධානෙ මගේ අතේ දුරින් තිබ්බ බව .." කළකට පෙර ඔහු කීවා මට මතකය. ඔහු මා රැගෙන ආවේ අපට අයිති නැති නිධානයක රස විඳින්නටයි. ඒ වෙනුවෙන් ගෙවිය යුතු මිලක් දැන් නියම වී තිබේ.
"ඇයි ඔයා ඇහැරිලා.. නිදි මරන්න හොඳ නැහැ..." ඔහු ඇසුවේය.
"මම ඔයා එනකං හිටියේ.. "
මම ඔහුගේ උණුසුමට ගැලුනෙමි . සිතේ  නැගෙනමින් තිබූ භීතිය ඒ උණුසුමින් යම් තරමකට පහව ගියාක් වැනිය. 
"අපි කොහේ හරි යමුද.. ඈත පළාතකට..? එහෙම නැත්නම් වෙන රටකට...?" මම කිමි. ඔහු මදෙස බලයි. මගේ දෙනෙත් යට ඇති බිය ඔහු තේරුම් ගත්තා සැක  නැත. 


Supem Tissera

unread,
Nov 30, 2023, 6:16:09 PM11/30/23
to INDRAKA
මේක 1970 ගණන් වල ලියපු කතාවක්. දිළුඳු / අසරන  කම නිසා සමහරු විඳින පීඩාවන් , බල පුළුවන් අයගෙන් ඒ අයට වෙන අසාදාරන කම්  තේමා කරගෙන ලියපු කතා ඒ වකවානුවේ සුලබ දෙයක්.  රන්ජිත් ධර්මකීර්ති වගේ අය මේවගේ තේමා යටතේ ලියපු කතා මම ඒ දිනවල් කියවල තියෙනවා . එතකොට එම කතාවල ව්‍යාජ බවක් දැනුනේ නැහැ (මට නම්).
 අදටත් ලාංකීය සමාජය තුල මෙවැනි අසාධාරනයන් වෙනවද? එහෙම වෙනවා නම් එය සිදු වෙන්නේ මේ වගේ "අමුවට" නොවෙන්න ඇති. ඒ angle එකෙන් බැලුවොත් මේ කතාව තුල "ව්‍යාජ  බවක්" තියෙන්න පුළුවන් . 

simont...@optusnet.com.au

unread,
Nov 30, 2023, 7:12:22 PM11/30/23
to ind...@googlegroups.com
හේරා 

මේක 1970 ගණන් වල ලියපු කතාවක්. දිළිඳු / අසරන  කම නිසා සමහරු විඳින පීඩාවන් , බල පුළුවන් අයගෙන් ඒ අයට වෙන අසාදාරන කම්  තේමා කරගෙන ලියපු කතා ඒ වකවානුවේ සුලබ දෙයක්.  රන්ජිත් ධර්මකීර්ති වගේ අය මේවගේ තේමා යටතේ ලියපු කතා මම ඒ දිනවල් කියවල තියෙනවා . එතකොට එම කතාවල ව්‍යාජ බවක් දැනුනේ නැහැ (මට නම්).

 අදටත් ලාංකීය සමාජය තුල මෙවැනි අසාධාරනයන් වෙනවද? එහෙම වෙනවා නම් එය සිදු වෙන්නේ මේ වගේ "අමුවට" නොවෙන්න ඇති. ඒ angle එකෙන් බැලුවොත් මේ කතාව තුල "ව්‍යාජ  බවක්" තියෙන්න පුළුවන් .

---
You received this message because you are subscribed to a topic in the Google Groups "INDRAKA" group.
To unsubscribe from this topic, visit https://groups.google.com/d/topic/indraka/9a4TDM4B3PQ/unsubscribe.
To unsubscribe from this group and all its topics, send an email to indraka+u...@googlegroups.com.

Arthur Arambepola

unread,
Nov 30, 2023, 7:48:08 PM11/30/23
to ind...@googlegroups.com
On Friday, December 1, 2023 at 2:36:27 AM UTC+11 Nihal Ananda wrote:


ඕනෑම ප්‍රබන්ධයක් හිතළුවක් නොවෙයිද? පරිකල්පනයෙන් ඇතිවන නිසා නේද ඒවාට ප්‍රබන්ධ කියන්නේ.

මේක ස්වාභාවික (ඒකෙන් අදහස් කරන්නේ මැජිකල් වැනි ස්වාභාවික ලෝකයේ සිදු විය නොහැකි සිදුවීම් ඇතුලත් නොවන කියන එකයි.) කථාවක්. මේ වැනි සිදුවීම් අදත් පාසැල් තුල බොහෝ විට සිදුවෙන බවයි මගේ අදහස.  වැඩවසම් චින්තනය (එනම් තරාතිරම මත සැළකීම වෙනස් විය යුතු බව සිතන, සියල්ලටම සමාන අවස්ථා පැවතිය යුතු බව නොසිතන චින්තනය) තවමත් මේ සමාජයේ රජයනවා. එවන් චින්තනයක් ඇතිවිට දක්ෂතා පැත්තකට දමා බලපුළුවන්කාරකමින් තම ඥාතීන්, හිතවතුන් ඉදිරියට ගැනීමේ තත්වයක් අදත් තියෙනවා. සමහර විට නාගරික පුදේශ වලින් ග්‍රාමීය පෙදෙස්වලට යන නූතන ච්න්තනයක් සහිත පුද්ගලයන් එම වැඩවසම් චින්තනය එක්ක ගැටෙනවා. කාලයත් එක්ක ඔවුන්ගේ බලපෑම වැඩි වුවත් තවම ඔවුන් ජයග්‍රහණය කරලා නැහැ.

මට නම් මේ කථාව ව්‍යාජයක් බව සිතෙන්නේ නැහැ.

Nissanka Rajapaksa

unread,
Nov 30, 2023, 10:33:50 PM11/30/23
to INDRAKA group
අපටත් දවසක ඉර පායාදෝ
-මහාචාර්ය ඒ වී සුරවීර

මේ කතාවට ටිකක් සමාන, 1970 දි විතර අපේ ගමේ සිදුවුණු, සිද්ධියක් මම කියන්නම්.

මේකෙ වින්දිතයා මටත් ළඟ ඥාතිත්වයක් ඇති, දැනට අවුරුදු 50ක් පමණ වයසැති, අයෙක් නිසා එහි සත්‍යතාවය ගැන සහතිකයක් දෙන්න මට පුලුවන්.

ඔහු දරුවන් හයදෙනෙකුගේ පවුලක වැඩිමලා. (මම නිමල් කියන්නම්) පියා ගමේ මගී ප්‍රවාහන වෑන් එකක රියැදුරු රස්සාව කළේ. පියාගේ වැටුපෙන් තමයි පවුල නඩත්තු වුනේ. 

පහේ ශිෂ්‍යත්වයට පෙනීසිටි නිමල් එම පන්තියේ දක්ෂ ම ළමයා. එදා එම ශිෂ්‍යත්ව විභාගය බාරව කටයුතු කළ ගුරුතුමියගේ පුතාත් හිටියේ ඒ පන්තියේ ම යි. (මම සුනිල් කියන්නම්) විභාගය අවසානයේ ගුරුතුමිය විසින් නිමල්ගේ උත්තර පත්‍රය සුනිල්ගේ එකට හුවමාරු කොට සකසා බාරදීමට කටයුතු කළා. ඇයට ඇගේ එම ක්‍රියාව එදින එහි සේවයේ යෙදී සිටි සහායක ගුරුතුමියගෙන් වසන් කිරීමට හැකිවුණේ නෑ. "ඕකුන් කොහොමටත් පිට ඉස්කෝලෙකට යන්නෑනෙ." කිව් ලොකු ගුරුතුමිය, මෙය රහසක් ලෙස තියාගන්නා බවට සහායක ගුරුතුමිය එකඟ කරගත්තා. 

ලොකු ගුරුතුමියගේ ඒ කතාව බොරුවක් නෙවෙයි. ශිෂ්‍යත්වය පාස්වෙලා වෙනත් පාසලකට ළමයෙකු යවන්න පුලුවන් තරම් ආර්ථික හයියක් තිබුණු පවුල් දහයක් දොලහක් විතර වෙන්න ඇති ඒ වෙනකොට ගමේ හිටියෙ. 

වසර ගනනාවකට පසුව, රහස තවදුරටත් හිතේ හිරකරගෙන ඉන්න අපහසු වූ සහායක ගුරුතුමිය, නිමල්ගෙ මවට මේ සිදුවීම හෙළිකළා. ඒ වනවිට සුනිල් ගුරුවරයෙක් ලෙසත් නිමල් අඳ ගොවියෙක් ලෙසත් ජීවිතයට මුහුණ දෙමින් සිටි අතර විශ්‍රාම ගොස් සිටි ලොකු ගුරුතුමිය ගමේ සෑම පිංකමකදී ම මූලිකත්වය ගෙන කටයුතු කරන සැදැහැවත් උපාසිකාවක්.

ඉහත සිද්ධිය, අදටත්, නිමල්ගේ පවුලේ අයත් ඔවුන්ගේ  ළඟම හිතවතුනුත් පමණක් දන්නා රහසක් පමණයි.

මගේ අදහස නම් ධනය හා බලය නැති අයට එරෙහිව සමාජයේ සිදුවන අවස්ථා මංකොල්ලකෑම් අදටත් ගමේත් නගරයේත් ජයට ම සිදු වෙනවා. බොරු තොරතුරු ඉදිරිපත්කර පාසල් වලට ළමයි ඇතුලත් කිරීමත් මංකොල්ලයක්. අද දේශපාලනයට පිවිසෙන බොහෝ දෙනෙක්ගේ අරමුණත් මෙවැනි මංකොල්ලකෑම් හරහා තමගේ සහ තම හිතවතුන්ගේ සංවර්ධනයයි. 

එදා වගෙම අදත් මංකොල්ලකෑම් ප්‍රසිද්ධියේ සිදුවෙනවා. මේවා කොයිතරම් දුරට සාමාන්‍යකරනය වෙලා ද කියනවනම්, බොහෝවිට, අපි හැමෝමත් මේවාට සම්න්ධ වීම හෝ නොදැක්කා සේ ඉඳීම කරනවා.


Nissanka Rajapaksa

unread,
Dec 1, 2023, 6:58:10 PM12/1/23
to INDRAKA group

Nissanka Rajapaksa

unread,
Dec 1, 2023, 7:01:50 PM12/1/23
to INDRAKA group
31
සාරාගේ ලෝකය

- ශාන්ති දිසානායක 


හැන්දෑ අන්ධකාරය මඳින් මඳ දැඩි වුවද වැව් දියෙහි ඒ හැටි සිහිලසක් නැත. දිවාකල මුළුල්ලේ චණ්ඩ හිරු රැසින් බැටකෑ බවට දෙස්දෙන මඳ උණුසුම් දියෙහි ගිලෙන්නට නොඉවසිලිමත් සිරුර වෙනදා මෙන්ම සිතට පරිදි .සිතන්නට හා තැවෙන්නට කරුණු කාරණා එමට ඇතත්, ඇය හොද්ද හැඳිගාන්නාක් මෙන් සිත හාරා පාරා පිරික්සන්නට ප්‍රිය නොකරයි. බාලේ තවම බොඳ නොවූ ගැඹුරු ළිඳේ මතකය සංත්‍රාසය දනවයි.

එදා ජංගිපොඩිය තෙමා දැමූ, සන්ත්‍රාසය මෙදා ඒසා දැඩි නොවෙතත් එහි ස්මරණය තවම බිය ජනකය.

"එන්නෙ එහෙම නෑ තනියම ළිඳට.." යි තරවටු කරන්නට ඔහු අමතක නොකළේය. ඒද හතිලමිනි. කළගෙඩිය පුරවාගන්නට දැරූ ප්‍රයත්නය අතිශයින් වෙහෙසකරවූ බැවිනි. එහෙත් හතිලමින් පමා වන්නට ඉසිඹුවක් නැත්තේය. හෙවණැල්ල වාගේ. පස්සෙන් වැටෙන කෙල්ල ඉස්කෝලෙට තල්ලුකරදමා, බඩ රස්සාවට යායුත්තේය.

"කෙල්ල ඉස්කෝලෙ යවන්ඩ ඕනෑ හැමදාම"

මරණ මංචකයේදී ඇය මහත් වෙරවීරියෙන් කළ ඉල්ලීම පැහැර හරින්නට ඔහුට නොපුළුවන.

කිරිකැටියෙකු දැඩිමේනි කරන්නට නොමසුරුව කිරි වඟුල දෙතනම බිරින්දෑට මියපරලොව යන්නට හේතුභූත වනු ඇතැයි ඔහු කිසිකලෙකත් නොසිතුවේය. ඉතා සෙමින් වුවද වැඩෙමින් ඇගේ තාරුණ්‍ය හා ශක්තිය සහමුලින්ම උදුරාගන්නට ඒ නිහඬ මරුවා සමත්විය. පියයුර ඉවත් කිරීමෙන් පවා, ඇය දිවි ගලවාගන්නට භාග්‍යමත් නොවුවාය.

"කෙල්ල ඉස්කෝලේ ඇරලෝලම ඔයාට පොල් කඩන්ඩ යන්ඩ පුළුවන් නෙ.."

මනුස්ස ඇසකට විඳදරාගන්නට බැරිතරමට කෘශව සිටියදී, ඇය හෙළු ආයාචනාත්මක බැල්මෙන් ඔහු සසලව ගියේය. ඒ යට ගිලුණු ඇස් ඔහුගේ හදවත පසාරු කළේය. හිස සැලීමෙන් නොනැවතී කුමක් හෝ සැනසිලි බසක් තෙපලන්නට වුවමනා වුවද, ඔහු නිහඬවම පසුවිය.

" සාරා.."

ඔහු මේ උදෑසන බෙරිහන් දුන්නෙ දියණියගේ පා ගැටෙන හඬක් කන නොවැකි බැවිනි.

"සාරා.." යි

ඔහු තොල්මතුලේ වටපිට නොබලන්නට වගබලා ගනිමිනි. වාට්ටුව සිසාරා බැල්මක් හෙළන්නට ඔහු පැකිළේ. ඇඳක් පාසා විඩාබර හා වේදනාකාරී ගැහැනුද අලුත උපන් බිලිඳුන්ද දකින්නට ඔහු බියවේ. අඩි තිහ හතළිහක් උස පොල්ගසක නගින්නට බිඳකදු නොපැකිළෙන මිනිසා තැති ගන්වන්නට රෝහලද විශේෂයෙන් මේ වාට්ටුවද සමත්වෙයි.

"සාරා සංදීපනී..."

නන්දනී අඩ සිනාවෙන් පැවසුවාය.

"අනේ මංදා.. සංදීපනී නං හොඳයි.. සාරා..?"

"සාරා කියන්නෙ රාජ කුමාරිකාවක්,"

පොතපත කෙසේ වෙතත් සිනමා පත්තර මහත් රුචියෙන් කියවන නන්දනී, ගස්ගෙඩි කඩන තමාට වඩා නුවණැති බව ඔහු සිතයි. ඒ සිතිවිල්ලෙන් ඔහු නොකිපෙයි ගංගොඩේ උදවිය ගස් ගෙම්බායි තමාට අවමන් කරනබව ඔහු දනී.

"වන්නං දහඅටම නටලා උඹේ කරේ එල්ලුනානෙ නන්දනියා. "යි ජංගල් ධරුමේ හිනැහෙන්නේ කසිප්පු පැකැට්ටුවක් හිස් කිරීමෙන් පස්සේ.

"එව්වා මට වැඩක් නෑ ධරුමේ.... ඒකි දැං ඉන්නෙ මාත්තෙක්ක.. එච්චරයි කතාව"

එහෙත් ඒ කතාව එතෙකින් නවතා දමන්නට ජංගල් ධරුමේ සූදානම් නැත. ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග යන කතා බහ කෙළවර වන්නේ මැදියම් රැයෙහි නන්දනීගේ විලාපයෙනි.

"මං කලිංම කිව්වනෙ .. මං හැංගුවෙ නෑනෙ.. ඒ මිනිහා මාව කසාඳ බදිනවා කියලා මාව රැවැට්ටුවා තමා, ... ඒකට ගහන්ඩ ඕනෑ ඒ මිනිහටනේ... මට ගහන්නෙ ඇයි.?" යි හඬගා අසන්නට තරම් ඇය දිරිමත් වූවාය. ඒ පුරා සයමසක් සිය සැමියාගෙන් පහර කෑමෙන් පසුය.

"ගහන්ඩ එපා.... ආයෙ ගැහුවොත් නං මාත් ගහනවා.." යි ඇය දිදුලන දෑසින් තර්ජනය කළ රාත්‍රියේ ඔහු පසුබැස්සේය. ගැහැනියකගෙන් පහර කෑමට වඩා නිහඬව ඇඳේ වැටී නිදාගත යුතුබව ඔහු තීරණය කළේය.

"සාරා..."

ගුණසිරි පෙරට වඩා උස් හඬින් කෑගෑවේය.

"මේ එනවෝ..." යි කියා ගන්නටවත් බැරි තරමට කෙල්ල තැතිගෙන සිටියාය. ඇයට කළහැකි වූයේ බිම හිදගෙන හඬාවැටීම පමණි.

"සාරා.... ඇයි?. ඇයි මොකද? "

ඔහු ප්‍රශ්න කළේ කෝපයෙනි. ඉර මුඳුන්වූ පසු ගස් නැඟීම පහසු නැත.පොළවේ පයගසා හිඳීමෙන් සහ පොල්ගසක් මුඳුනේ රිළවෙකුට, දඬුලේනෙකුට වඩා කඩිසරව පොල්වලු කපා හෙළීමේ අතර වෙනසක් ඔහුට නැත්තේය.

"ඇයි අඬන්නෙ...?"

මුදු වදනින් ඇය සනසාලන්නට ඔහු වෑයම් නොකරයි. බිරින්දෑට පොරොන්දු වූ ලෙසින්ම ඇය පාසල් යවන්නට ඔහු වගබලා ගනී.

"සාරා......"

ඔහු ප්‍රිය නොකළද ඔහුගේ මුවින් ගිළිහෙන්නෙ "සාරා"යන නමම ය. "සංදීපනී"යි කියනවාට වඩා සාරායි කීම පහසුබව ඔහුට සිතේ.

"බයයි... මට බයයි."යි. සාරා ඉකිබිඳිමින්ම කී කළ ඔහු පුදුමයට පත්විය.

"බය වෙන්නෙ මොකටද?"

ඇය අත දිගු කළාය, ඒ ඔස්සේ හැරී බැලූ ඔහු දුටුවේ ළිඳ විනා අන් කිසිවක් නොවේ.

"ඇයි.. මොකෙක්ද.?" ඇය හිස දෙපසට සළමින් ඉකි බින්ඳාය. ඔහු හාත්පස සිසාරා බැල්මක් හෙළුවේය. එහෙත් ඇය බිය ගැන්විය හැකි කිසිවක් ඔහුගේ දෙනෙතට හසුනොවිණ.

"සාරා... මට උඹව හුරතල් කරකර ඉන්ඩ වෙලාවක් නෑ.. තේරුණාද.?. මං දැන් අක්කර හැත්තෑවට යන්ඩ ඕනෑ... ඉස්කෝලෙ මහත්තයාගේ පොල් මුරේ අද.. හරිනං මං මෙලහට ගස් දහයක්වත් බඩගාලා ඉවරයි."

ඇය කඳුළුත් සොටුත් එක්ක නැගිට ගත්තාය. එවන් ගර්ජනාවකට පස්සේ අතුල් පහරක් ⁣හෝ ටොක්කක් නොවරදින බැවිනි.

"නන්දනී.. මං උඹේ කුමාරිකාවට අත ඉස්සුවා."යි

පාපොච්චාරණය කරන මිනිසාගේ නෙතඟ කඳුළ නොදකින සාරා සංදීපනී ඒකාකාර රිද්මයකට හුස්ම ඉහළ පහළ හෙළයි. ඒ නිද්‍රාවේ ඇය, ඇගේ මවගේ තුරුලේ සැනහෙන බව ඔහුට නිසැකය.

"බලාපන් උඹේ මුහුණේ හැටි... මං දැන් කොහොමද උඹව ඔහොම ඉස්කෝලෙට එක්කාන යන්නෙ?"

දියණියගේ මුහුණකට බලාකියා ගන්නට ඉස්පාසුවක් ලද කෙනෙහි ඔහු අසන්නේ ළතැවුලෙනි.

"යමං.. ළිඳට බොන්ඩ ගෙනා වතුර කළේ නැති නාස්ති කරලා බෑ නෙව..." යි කියමින් ඔහු ඇගේ කුඩා අතකින් ඇද්දේය. එහෙත් ඇය ළිඳ වෙත යාම ප්‍රතික්ෂේප කරමින් යළිත් හඩා වැටුණාය. ඔහු සමඟ පොර බැද්දා ය.

"මේකිට මේ මොකද වෙලා තියෙන්නෙ.. ළිඳට නොයා කොහොමද මූණකට හෝදා ගන්නෙ,,?"යි ඔහු විමතියෙන්ද කෝපයෙන්ද කෑගෑවේය. එහෙත් මොහොතකට පෙර ළිඳට එබී බැලූ කෙල්ල යළි ඒ වෙත යන්නට කිසිසේත් කැමති නොවූවාය.

"ළිඳ ගාවට තනියෙන් යන්ඩ එපා ... ළිඳට එබෙන්ඩ එපා.." යි තාත්තා මන්තරයක් මතුරන්නා වාගේ කොතෙකුත් කියන්නෙ මන්දැයි පසක් කරගන්නට ඇයට ඒ එක් ඇසිල්ල ප්‍රමාණවත් විය.

එය ළිඳකට වඩා අඳුරු කුහරයක වෙස් ගත්තේය. ළිඳක් ඒ සා ගැඹුරු විය හැකිදැයි කෙනෙක් තුළ විස්මය මුසු සැකයක් ජනිත කරවනසුලුය. බැම්මක් බැඳ නොතිබුණෙන් ඊට එබෙන්නට කොට කැබැල්ල මත පය තැබිය යුතුය. කවාකාර බව හැරුණු විට පත්ලේ තවම නොසිඳි දිය එය ළිඳක් බව කියාපාන්නක් වැනිය. ඉහළ ලිහිල් පසෙහි විවිධාකාරයේ පැළෑටි වැසී තිබූ අතර පහළ කළුගල දිලිසුණේ එක්තරා අන්දමක සාහසික බවක් දරමිනි. කටුක නිකිණියේ සිඳී යන බැවින් ගුණසිරි කළුගල හාරා සාරා දැමීම සඳහා අපමණ වෙහෙසක් දැරුවේය.

ළිඳේ ගැඹුරත් පත්ලේ දියත් දරුවෙකු තැතිගන්වන තරමට භයංකර වීමේ අරුමයක් නොවිණ.

“මොකට මෙච්චර ඇට්ටරද මං දන්නෑ...“ යි ගුණසිරි පහර දුන්නේ බියෙන් හා ශෝකයෙන් පීඩිත කෙල්ලකටය.

වැව්තෙර වැඩුණු තරුණිය එවන් අතුල් පහරක මතකයෙන් පීඩා නොවින්ඳාය. ඒ රළු හා සවිමත් සුරත පොළෝ පස් අතරේ දිරාපත්ව යන බව ඇය අමතක කළාය.

ගුණසිරිගේ මරණය...! එය සිදුවූයේ ක්ෂණිකවය. බඩ වියත රැක ගන්නට පිහිට වූ පොල් ගසම ඔහු වෙත මරණය ප්‍රදානය කළේය. ඒ සඳහා ගැඹුරු ළිං පත්ල දැකීමෙන් තැතිගත් කෙල්ලද යහමින් දායක වූවාය. ඇගේ හැඬුම හේතුකොටගෙන නැති නාස්ති වූ කාලයම ඔහු උදෙසා ඒ සා විපතක් සූදානම් කර තිබිණ. අඩි තිහ හතළිහක් ඉහළ පොල් ඉති මත පය ලිස්සා ගියා නොවේ.

ඔහුගේ හතළිස් අවුරුද්දක ජීවිතය සැණින් හමාර කරන ලද්දේ ඇයට තැළුම් දුන් දෑතමය. කිලෝග්‍රෑම් පනස් පහක පංචස්කන්ධයක් හිස් අවකාශයේ අසරණව අනාථව පොළොවේ ගැටීමෙන් අත්පත් විය හැකි මරණය හෝ කොඳුඇටපෙළේ භග්නය වෙනුවෙන් ගතව ගියේ ඇසිපිය හෙළන නිමේෂයක් පමණි.

සාත්තු සප්පායම් කරන්නට බිරින්දෑ හුස්ම ඉහළ පහළ නොහෙළන බව දැන සිටියාක් මෙන් රළු පොළොව ඔහුට මරණය අත්පත් කර දුන්නේය.

“ඊටපස්සේ අතන මෙතන... යලට මහට ඉස්කෝලේත් ගියා.“ යි සාරා පාපොච්චාරණය කළේ පයැඟිලි තුඩු විකන මින් රැළ එක්කද...? නොඑසේනම් නුදුරෙහි ඕලු මල් යායට ඇහෙන්නද?

පිළිකාවට පරාජය වූ අම්මා ගැනද බඩ සා නිවා දැමූ පොල් ගහෙන් ඇද වැටී මිය ගිය තාත්තා ගැනද කියන්නට ඇයට වුවමනා වී තිබිණ. එහෙත් ඒ සඳහා තමා තෝරා ගත්තේ නිවැරදි මිනිසාමදැයි ඇය යළි යළිත් සිතුවාය.

“දුරින් නෑදෑකමක් තිබ්බ හිංදම නෙමේ. උඹ අර උඹේ බැන්දා කියන එකීගෙං ගුටි කනවා බලා ඉන්ඩ බැරුව මං එක්කාන ආවේ... දැං හොඳයිනෙ මට විච්චි දේ...“

තමාට කාරුණික වූ එකම ගැහැනිය හඬා වැටෙන අයුරු ඇය අකම්පිත හදවතින් බලා සිටියාය.

“දරු දෙන්නෙක් විච්චි... අප්පේ මං දැං මොකද කරන්නෙ?“

අම්මාගේ හැඬුම බෝ වූවා වාගේ දරු දෙන්නාද හඬා වැටෙන්නට වූයෙන් සාරා වහා නැඟී සිටියාය. ඇය මෙතෙක් වේලා හිඳගෙන සිටියේද කවර හෝ ගුටිබැට ප්‍රහාරයක් අපේක්ෂාවෙනි. එහෙත් ඒ වෙනුවට කඩා වැටුණේ කඳුළු බින්දුය. ඉවසිය නොහැක්කේ දරු දෙන්නාගේ ඉකි බිඳුමය. අම්මා හඬා වැටෙන්නේ මන්දැයි නොදත් කොල්ලත් කෙල්ලත් පිළිබඳව සාරා තුළ උපන්නේ මහත් සංවේගයකි.

“මං මැරෙනවා“ යි ඇය අප්‍රමාදව තීරණය කළාය. සිරවෙන සුසුම්ලන හදවතට යම් අස්වැසිල්ලක් අත්පත් වූයේ එකී තීරණයේ එල්බ ගැනීමෙන් අනතුරුවය. මරණය ළඟා කරගත හැක්කේ කෙසේදැයි කල්පනා කරන්නට කාලය මිඩංගු නොකළ යුවතිය වහා රෙදි පෙරෙදි ලක ලෑස්ති කරගත්තාය.

“මැරෙන්ඩ යන එකීට රෙදි මොකටද?“ යි අසන්නට අයෙක් ඒ වහල යට නොසිටියේය. තමාට ද්‍රෝහි වූ සැමියා සහ ඥාති දියණිය පිළිබඳව සිතමින්, දැවෙමින් හා තැවෙමින් හුන් ගැහැනිය දරු දෙදෙනා පවා නොදුටුවාය. සිරුරේ වෙළෙන ඒ ඇබිත්තං සිරුරුවල උණුසුම නොවින්දාය.

“සාරක්කෙ මාත් එනවා...“

“මාත්...“ යි වෙනදා මෙන් කොල්ලාත් කෙල්ලත් පස්සෙන් නොවැටුණු බැවින් ඇය පය ඉක්මන් කළාය.

ඇය වැව කරා ගමන් කළේ දිය නාන අදහසින් නොවේ. සැබැවින්ම ඉහළ නිල් අහසේ විරාජමාන මහෝත්තමයාගේ අනුහසින් වැව කෙසඟව කේඬෑරිව ගොසිනි. එහෙත් ඇගේ පමණක් නොව ඕනෑම කෙරුම්කාරයකුගේ පණනල උදුරා ගත හැකි තරමේ ගැඹුරක් හා සාහසිකත්වයක්ද ඒ වෙත තිබෙන බව ඇය දැන සිටියාය.

“නැ...නැන්දා... පව්...“

ඔහුගේ ආලිංගනය ඉවසමින් හා ඊට ලොබ කරමින් ඇය කොඳුළාය.

“මං ඒ ගෑනිට කිසි අඩුපාඩුවක් කරන්නෑ බං..“ යි ඔහු සපථ කළ කල්හි ඇය සිය දුබල විරෝධයද මැඬගත්තාය.

“මං මැරෙනවා... එතකොට ඔක්කොම හරි....“ යි යළි යළි මුමුණමින් ඇය වැවට බැස්සාය. දෙදණ තෙමන දියෙන් ඔබ්බට යා යුතු බව සිතන කල්හි ඇය වෙව්ලා ගියාය.

“මොකද වෙන්නේ ගාමන්ට්ටෙකට ගියහම... ඔය ඕනෑ තරම් ළමිස්සියෝ යන්නේ...“ යි කොතෙක් කරුණු ගෙනහැර දැක්වුවද ඇගේ මාමා එකහෙළා විරුද්ධ විය.

“නෑ නෑ ඕන්නෑ... ඔව්වට ගිහිං ඔය ගංජාකාරයෙක් හරි කුඩුකාරයෙක් හරි රවට්ට ගත්තාම සේරම ඉවරයි...“

ඔහුගේ ඒ වචන යළි ඇගේ දෙකනේ රැව් දුන්නේය. ඇගේ දෙනෙතින් ගලා හැළුණු කඳුළු වැව් දියට මුසු විය.

“සේරම ඉවරයි තමා මාමේ... ගාමන්ට් නොගිහිං ගෙදර ඉඳලත් සේරම ඉවරයි.“

පියෙන් පියව යන ඇය දියෙහි සිසිලසද ළං ළංව එළැඹෙන මරණයේ වේදනාවද විඳිමින් සිටියාය.

“සාරා...“

ඇය තිගැස්සුණාය.

“නැන්දා...?“ යි කියාගන්නට ඇය වැව් දිය ඉඩ නොදුන්නේය. දැනටමත් ඇගේ නිකට තෙක් දිය රළ රැළි නඟමින් තිබිණ.

“සාරක්කේ...“

ඇගේ ළය දැවී ගියේය.

“කිරි මල්ලී...“ යි ඇය අපමණ ශෝකයෙන් සිතුවාය.

“සාරක්කේ...“

ඇය වඩාත් ප්‍රිය කළාවූ බොළඳ හඬ ඇගේ දෑස යළි තෙමයි.

“චූටික්කි... අනේ මගේ චූටික්කි...“

වෙනත් ලෝකයකින් ඇසෙන තරමට දුරස් වූයේ නමුදු ඒ හැම හඬක්ම ඇගේ දෙකන නොව හදවත කලඹාලයි.

“මං මැරෙන්නෑ...“

හිටිහැටියේ පැන නැඟී සිතිවිල්ලෙන් ඇය විස්මයට පත් වූවාය.

“මට මැරෙන්ඩ බෑ...“

ඇගේ අවසන් සුසුම් පොද පතා බලා හුන් වැව් දිය කැලඹුණේය. ඇගේ නිරෝගි හා තුරුණු පෙණහලු තුළට වදින්නට නොඉවසිලිමත් වූ වැව් දිය කුපිත විය.

“මං මෙහේ..“ යි හඬ නඟා දැනුම්දුන් සාරා ආපසු හැරුණාය. ඇය වෑයමින් වුව දිව ගියේ වැව් තෙර කරා පමණක් නොවේ ජීවිතය වෙතය. ඇගේ ජීවිතාශාව කොතෙක් බලවත් වීද යත් ඇය වරෙක ඇද වැටුණාය. යළි නැඟී සිටියාය.

“චූටික්කි..“ යි බෙරිහන් දෙමින් ඇය යළි ආපස්සට අදින දිය දහරාවට නොපරදින්නට ඉටා ගත්තාය. එය වැවත් කන්‍යා භාවය අහිමිව තවම විසිහර පැයක් නොඉක්මවූ කෙල්ලකත් අතර ද්වන්දව සටනක්ම විය








Arthur Arambepola

unread,
Dec 1, 2023, 7:26:19 PM12/1/23
to ind...@googlegroups.com
"මගේ අදහස නම් ධනය හා බලය නැති අයට එරෙහිව සමාජයේ සිදුවන අවස්ථා මංකොල්ලකෑම් අදටත් ගමේත් නගරයේත් ජයට ම සිදු වෙනවා. බොරු තොරතුරු ඉදිරිපත්කර පාසල් වලට ළමයි ඇතුලත් කිරීමත් මංකොල්ලයක්. අද දේශපාලනයට පිවිසෙන බොහෝ දෙනෙක්ගේ අරමුණත් මෙවැනි මංකොල්ලකෑම් හරහා තමගේ සහ තම හිතවතුන්ගේ සංවර්ධනයයි. 

එදා වගෙම අදත් මංකොල්ලකෑම් ප්‍රසිද්ධියේ සිදුවෙනවා. මේවා කොයිතරම් දුරට සාමාන්‍යකරනය වෙලා ද කියනවනම්, බොහෝවිට, අපි හැමෝමත් මේවාට සම්න්ධ වීම හෝ නොදැක්කා සේ ඉඳීම කරනවා."

පහත දැක්වෙන්නේ 2023 වර්ෂයට රජයේ පාසැල්වල පළමුවන ශේණියට ළමුන් ඇතුළත්කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ චක්‍රලේඛයෙන් උපුටාගත් කොටසක්. (එම චක්‍රලේඛය https://moe.gov.lk/2022/06/applications-and-the-instructions-to-admit-students-to-grade-one-of-the-government-schools-in-2023-are-issued/ යන වෙබ් අඩවි පිටුවෙන් බාගත හැකියි.)

image.png


මහජනයාගේ බදු මුදලින් නඩත්තු වන රජයේ පාසැල් වලට ළමුන් ඇතුළත් කිරීමේදී මෙවන් නිර්ණායකයක නිළ වශයෙන්ම යොදාගන්නේ කෙසේද යන්න මට නම් තේරෙන්නේ නැහැ.


රජ පවුලක් ඇතත් වැඩවසම් ක්‍රමය සෑහෙන දුරකට තුරන් කළ එක්සත් රාජධානිය වැනි රටක ඇති නිර්ණායක සමග සසඳා බැලීම වටිනවා. (https://www.gov.uk/schools-admissions/admissions-criteria)

image.png


Nissanka Rajapaksa

unread,
Dec 2, 2023, 12:44:34 AM12/2/23
to INDRAKA group
"එදා වගෙම අදත් මංකොල්ලකෑම් ප්‍රසිද්ධියේ සිදුවෙනවා. මේවා කොයිතරම් දුරට සාමාන්‍යකරනය වෙලා ද කියනවනම්, බොහෝවිට, අපි හැමෝමත් මේවාට සම්න්ධ වීම හෝ නොදැක්කා සේ ඉඳීම කරනවා."

කෙටිකතාවට අදාල නැතත්, ආණ්ඩුවත් අමානුෂික විදියට දුප්පතුන් ඇතුලු පහල මධ්‍යම පංතිය හූරගෙන කද්දිත් මුළුමහත් සමාජය ම අහක බලාගෙන සිටින අයුරුත් උගතුන් යැයි තමන්ව ම හඳුන්වාගන්නා අයත් ඒ හූරාකෑමට පක්ෂවීමෙන් නොනැවතී "සහනාධාර ඉල්ලන්නන්" යැයි දුප්පතුන්ට අවමන් කරන හැටිත් මං එක උදාහරණයකින් තේරුම් කරන්න උත්සාහ කරන්නම්. (මා වැරදි නම් නිවැරදි කරන්න)     

මේ Power Tariff ගැනයි.
විදුලිය අද අත්‍යාවශ්‍ය කොමොඩිටි එකක්.
සීමිත ව නිපදවෙන ජල විදුලිය සඳහා වැයවෙන්නෙ ඒකකයකට රු. 2-3 අතර ගනනක්.
(තාප විදුලිය සඳහා x 20 පමණ වැය⁣වනවා)
අපට පුලුවන්නම් එක් පුද්ගලයෙක්ට මසකට (සාමාන්‍ය ජීවිතයට) අවශ්‍ය ගෘහස්ත විදුලිය ප්‍රමාණය ඇස්තමේන්තු කරන්න - ඒ අගය එක් අයෙකුට ඒකක 40 ක් විතර වේවි. ජලවිදුලිය නිපදවීම සහ බෙදාහැරීමේ ක්‍රියාවලිය මේ අවශ්‍යතාවය සැපිරීම සඳහා පමණක් ඉලක්ක කොට ක්‍රියාත්මක කළ හැකි නම්, වසර පුරාවටම, හැමෝටම, ජලවිදුලියට අදාලවන tariff ක්‍රමයක් යටතේ විදුලිය ලබාදිය හැකි බවයි මගේ විශ්වාසය. එම ප්‍රමාණය ඉක්මවා පාරිභෝජනය කරන අයවලුන් සඳහා එම mix එකට අදාලව මුදල් අයකර ගතයුතු අතර තාප විදුලිය නිපදවීම ද ඒ අනුව වසර පුරාවට එම ප්‍රමාණයට ම ක්‍රියාත්මක කළයුතු ය.
මෙවැනි ක්‍රමයක් මානුෂීය මූලික අයිතියක් විදියට දකින්න අපට බැරි ඇයි? මේක කොහෙත්ම සහනාධාර ක්‍රමයක් නෙවෙයි.
අනික් අතට, දැං ක්‍රියාත්මක වන ක්‍රමය දිහා බලන්න. එයින් කෙරෙන්නේ ධනවතුන්ට අවශ්‍ය තාප විදුලිබිලට සහන සැලසීම සඳහා දුප්පතුන්ගේ මුදල්  මංකොල්ල කෑමක් නේද?

Nihal Ananda

unread,
Dec 2, 2023, 2:00:06 AM12/2/23
to ind...@googlegroups.com
අපටත් දවසක ඉර පායාදෝ
-මහාචාර්ය ඒ වී සුරවීර

මේ කතාව ........ මට නම් හිතෙන්නේ  'ව්‍යාජයක් " ,
මහාචාර්ය තුමාගේ  හිතළු කතාවක්. 
-------------------------------------------------------------------
ඉහත අදහස නිසා සහ එයට ප්‍රතිවිරුද්ධව අදහස් කිහිපයක් ම ලියවී තිබෙනවා. 
එය හොඳ ඉදිරි පියවරක්......, සතුට ට කරුණක්. 

මම ලිව්වේ , කතාව කියවා අවසන් කල විගස....., මට හිතුන අදහසක්.  
කියවූ වෙනත් කෙනෙකුට ඊට හාත්පසින්ම වෙනස් අදහසක් පහල වීම .... ස්වාභාවිකයි. , තර්කානුකුලයි. 
කතාවක් පිළිබඳව ,පාඨකයාට "දැනෙන දෙය " , අදහස තීරණය වීමට, පාටකයාගේ සමාජ පසුබිම, ඉගෙනීම,අවබෝධය ,මානසික තත්වය ආදී දේවල් ද බලා පානවා. ඒ අනුව සම්පුර්ණයෙන්  වෙනස්  අදහස් ද ඇති විය හැකියි.
 ඒ ගැන පුදුමයක්, විමතියක්  නැහැ ... !

 කෙසේ වෙතත්,  අදහස්  දක්වා ඇති post වල  සඳහන් වී ඇති එකම  කාරණය ...... මෙවැනි සිදුවීමක් සිදු  විය හැකි බව පමණයි !
එය ස්වභාවික ,තාත්වික, යථාර්තවාදී බවයි.....!!
සත්‍ය වශයෙන්ම සිදු වූ  සිද්ධීන් පිලිබඳ ධිර්ඝ  විස්තරයක් පවා, @nissanka ව්ස්තර කර තිබෙනවා. 
නමුත් ..... එපමණින් ම කතාවක් , සාර්ථක යතාර්ථවාදී කෙටි කතාවක් වේද ?

මේ කතාව "ව්‍යාජයක් " ලෙස හිතුනේ ඇයිදැයි .....දැන් ලියන්නට අමාරුයි. 
පසුව කල්පනා කර බැලීමේ දී......, පහත කරුණු ද හේතු වන්නට ඇතයි,  සිතෙනවා.
# කතාවට පසුබිම් කාලය ,පරිසරය 
# එම කාලයේ ,පරිසරයේ මෙවැනි සිදුවීමක් සිදු විය හැකි ද ? 
# කතාවට ඇතුලත් වී ඇති චරිතවල හැසිරීම, කතා බහ ..... විය හැකි ද ?
#කතාවේ ප්‍රධාන චරිතය , චිත්‍ර  අඳින ගැහැණු ළමයාගේ  සිතිවිලි පරිකල්පනය මානසිකත්වය ...ලේඛකයා නිසි අයුරින් ග්‍රහණය කරගෙන ඉදිරිපත් කර ඇති ද ?
#මෙවැනි කතාවක් ලිවීමට , ලේඛකයාගේ සමාජ පසුබිම, ඉගෙනීම , සමාජ තත්වය .... කොතෙක්  දුරට බල පා ඇතිද ? 
# ලේඛකයා ගේ පව්ද්ගලික  ජීවිතය, සමාජ පිළිගැනීම,  පිළිබඳව මා දන්නා කරුණු 
# ලේඛකයා ලියා ඇති අනෙකුත් කෘති, ඔහුගේ ලේඛන කුසලතාවය ආදිය පිළිබඳව මගේ පූර්ව අදහස් 

Nissanka Rajapaksa

unread,
Dec 2, 2023, 5:26:34 PM12/2/23
to INDRAKA group
32 
කෙටිකතා දෙකක් 

1. නිලධාරීන් දෙදෙනා සහ ගොවියා
මිහයිල් යෙව්ග්‍රපොවික්

2. මිනිස් මොහොතක්
ඇරැව්වල නන්දිමිත්‍ර 

Arthur Arambepola

unread,
Dec 2, 2023, 7:56:04 PM12/2/23
to ind...@googlegroups.com
"එදා වගෙම අදත් මංකොල්ලකෑම් ප්‍රසිද්ධියේ සිදුවෙනවා. මේවා කොයිතරම් දුරට සාමාන්‍යකරනය වෙලා ද කියනවනම්, බොහෝවිට, අපි හැමෝමත් මේවාට සම්න්ධ වීම හෝ නොදැක්කා සේ ඉඳීම කරනවා."

 මාතෘකාවෙන් පිට පැනලා නම් තමයි. නමුත් ප්‍රබන්ධ තියෙන්නේ කියවල විනෝද වෙන්නම නොවෙයිනෙ. ඒවායෙන් යම් සිතිවිළි ධාරාවක් ඇතිකෙරෙනවා නම් වැදගත් කියල හිතෙනවා.

විදුලි ගාස්තු ගැන නිශ්ශංක මතු කරල තියෙන්නේ පොදු තත්ත්වයක සුවිශේෂ අවස්ථාවක්.

ඇති හැකි අය කරන අධි පරිභෝජනයට වන්දි ගෙවන්න වෙන්නේ එහෙම පරිභෝජනයක් නොකරන සාමාන්‍ය මිනිස්සුන්ට. ආණ්ඩු විතරක් නෙවෙයි, ස්වාභාව ධර්මයත් විපාක බෙදල දෙන්නෙ එහෙමයි.

මේ දවස්වල තියෙනව එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුව. නොයෙක් රාජ්‍ය නායකයන් පිරිවර සහිතව ගිහින් ලොරි ටෝක් දෙනව.නමුත් පරිභෝජනය පහළ යන්නේ නැහැ. තාක්ෂණයෙන්ම ෂේප් වෙන්න බලනව.

උෂ්නත්වය වැඩිවෙනව. අයිස් කඳු දියවෙනව. සමහර දූපත්වාසීන්ට මුළු රටම අහිමි වෙනව. අධික වැසි, නියඟ ඇතිවෙනව. දුප්පත් රටවලුයි, පොහොසත් රටවල දුප්පත් මිනිස්සුයි අන්තිමට විපාක විඳිනව.

මෙහෙම වෙන්නෙ මිනිසාගේ අධික තෘෂ්ණාව නිසා කියලයි දේශනා කරන්නෙ.



Nissanka Rajapaksa

unread,
Dec 3, 2023, 5:35:46 PM12/3/23
to INDRAKA group

33
මාළු කඩේ රූමතිය ..

- මංජුල සේනාරත්න 

වසර 15 කට පසුව මම ඩෝරා  දුටිමි. ඇය තවමත් පෙර පරිදිම රූමත්ය. වින්ද්‍යා සහ දරුවන් දෙදෙනා සමග අගෝස්තු නිවාඩුවට Toulouse  නගරයට යමින් සිටින ගමනේ තැනක ඉන්ධන පිරවුම් හලක ඇය සේවය කරමින් සිටියාය. ඇගේ දසුනින් ගැලවී යන්නට මට හැකියාවක් තිබුණේ නැත.
"නාලකා... කොයි තරම් කාලෙකට පස්සෙද...? ඔයා එදා වගේමයි...ඉදිරියට පැනගෙන පැමිණි ඇය මා වැළඳ ගනිද්දී මා සෙව්වේ ඇය වෙතින් පෙර දවසක වහනය වුණු සුවඳයි. එහෙත් එය මට දැනුණේ නැත. වැඩි පඩියක් හිමි නොවන රැකියාවක් කළත් ඒ මොහොතේ ඇය වෙතින් වහනය වූයේ මිලෙන් අධික සුවඳ විලවුන් වර්ගයක සුවඳකි.

පහළොස් වසරකට පෙර , තනිකඩ කාලයේ ඩෝරා     මට හමුවිය. ඒ දිනවල ඇය මගේ නවාතැනට වැඩි දුරකින් නො පිහිටි විශාල සුපිරි වෙළඳ සැලේ මාළු විකුණමින් සිටියාය.

එය මනරම් මාළු කඩයකි. බහුතරයක් මාළු මියගොස් සිටියද , එය මින් මැදුරක සිරි ගත්තේය. නම නොදන්නා , දැනගෙන හිටියත් ප්‍රංශයෙන් උච්චාරණය කරන්නට අපහසු මාළු වර්ග සිය ගණනක් එහි විය. පණ ඇති කකුළුවෝ උන්ට අයිතිව තිබුණු කොටසේ හරහට ගමන් කළහ. පණ නැති මාළු පණ දෙන්නට මෙන් පාරිභෝගිකයින් දෙස බලා සිටියහ.

"උඹ කොහෙද බලාගෙන ඉන්නේ .. මාළු දිහාද ..? මාළු විකුණන කෙල්ල දිහාද...?" මගේ හොඳම මිතුරා අකිල ගොනා ඇසුවේය.
"ඒ කෙල්ල ලස්සනයි නේද බං .. මාළු කඩේක වැඩ කරන්න තරම් ඒකි ලස්සන වැඩියි කියලා හිතෙන්නේ නැද්ද..?"
"ඔව් නේද..? මාළු කඩ වල වැඩ කරන කෙල්ලන්ගේ මූණවල් හරියට මාළුන්ගේ මූණවල් වගේ . මේකි නම් ඇත්තටම ලස්සනයි.."

ඇය අපි දෙන්නා වෙත ආවාය. රූමත් බවටම සරිලන සිනහවකින් සංග්‍රහ කර " කොහොමද... ඔයාලට මොනවද ඕනා.." යනුවෙන් ඇසුවාය.

එදා පටන් මම මස් කෑම නතර කර දැමුවෙමි. මාළු කන්නට පටන් ගතිමි. හැමදාම මාළු කඩේට ගොස් නම නොදන්නා මාළුවෙකුට අත දිගු කර , එය දෙන්නැයි රූමතියගෙන් ඉල්ලා සිටියෙමි.
Dorade, Bar, වැනි මාළුවෙක් මා ඉල්ලා සිටියොත් "සුද්ද කරළා දෙන්නද...?" ඇය අසයි. මිලට ගත් මාළුවා වැඩ කරන ලෑල්ලට රැගෙන යන රූමතිය මැරුණු මාළුවාට නව පණක් ලබා දෙන්නට මෙන් තමන්ගේ අයිස් හීතලට රත් පැහැ  ගත් ඇගිලි තුඩු වලින් අල්ලා ගනියි. අමුතු ජාතියේ ආයුධයක් ගෙන කොරල සුද්ද කරයි. බඩවත කපා මාළුවාගේ බඩ බොකු වැල් එළියට ගනිද්දී ඇය මා දෙස බලා සිනහවෙන්නේ රති සැපයක අවසානයේ තම වල්ලභයා එල්ල කරන  වල් බැල්මෙන් මා දෙසට දමා ගසමිනි.  

මාළු ගන්නට යන මුල් වතාවන් වලදී පියකරු සිනහවෙන් මා  නවහා දැමූ ඩෝරා කාලය ගත වෙද්දී වදන් කීපයකින් මට සංග්‍රහ කරන්නට පටන් ගත්තාය. එය ඉංග්‍රීසිත් , ප්‍රංශත් එකතු කර ඇය විසින්ම සාදා ගත් FRENLISH නමැති භාෂාවෙන් කෙරුණු කතා බහකි. ප්‍රංශ කතා කරන්නට මට තිබුණු විහැකියාව හොඳින් වටහා ගත් ඇය , මේ අලුත් භාෂාවේ ප්‍රගුණතත්වයක් ලබන්නට ගන්නා උත්සාහය දැක මට ඇති වූයේ පුදුමයකි. සිනහව , බැල්ම , කතාබහ , හැරී බැලීම , නැවත නැවත හැරී බැලීම , යන මේ සියල්ල යහමින්  සිදුවෙමින් තිබෙන කාලයේ එක් දවසක , වැඩි සල්ලියක් අතේ නොතිබුණු නිසා සාලයෝ පන්සීයක් රැගෙන පිටව ගොස් ආපසු හැරී බලන මොහොතේදී  ජලයේ පා කර හාදුවක් ඇය මට එව්වාය .  "ආශාව" නමැති සාගරයේ සැරි සරණ තවත් තරගකාරී ධීවරයෙකුගේ දැලට හසු වන්නට පෙර ඒ හාදුව අල්ලා ගන්නට මට හැකිවිය. දිනපතාම මාළු ලෑල්ලට එන මේ ශ්‍රී ලාංකික තරුණයා සැරසෙන්නේ තමාව බිලී බා ගන්නට බව වටහා ගත් ඩෝරා බිලී පිත්ත වතුරට විසි කරන්නටත් කළින් මගේ ඇමට හසු වූවාය. එසේ පැටලී , එක් සැන්දෑ සමයක mucat බෝතලයක් ද රැගෙන මගේ නවාතැනට පැමිණියාය.

මා පිළියල හත් මාළුව ( මාළු වර්ගම හතක් ) අනුභව කර , මත්වී , වෙරි වී , මෝහනයට පත්ව එදා රාතියේ මගේ යහන කළඹා පැන නැගුණු   රැලි  අතරේ තම ඔරුව පදවාගෙන ගිය ඇය , මා සමග දිනපතා මුහුදු යන්නට කැමැත්ත ප්‍රකාශ කලාය . ඒ දිනවල මා සමග නවාතැන බෙදා ගත් අකිල ගොනාට තාවකාලිකව වෙනත් නවාතැනක් සොයා ගන්නැයි මම තර්ජනය කළෙමි . ඌ මට සාප කරමින් තවත් මිතුරෙකුගේ නිවසක පදිංචි විය . 

ඩෝරා .....

ඇය සැබෑ පෙම්වතියකි. රති කෙළිය නමැති සාගරය ඇයට පුරුදු තැනකි . නිදි යහනේදී ඇය තම සීතල  ඇගිලි තුඩු හිරි ගඩු පිපුණු මගේ සිරුර මත කෙළින් ගමන් කරන්නට උත්සාහ කරන  කකුලියක ගේ  (කකුළුවා ගේ ගෑනු සතා ) රිද්මයට රැගෙන ගියාය . කොරායි මත්සයෙකු මෙන් වරල් සැලුවාය. මෝරියක   (මෝරාගේ ගෑනු සතා ) මෙන් හපා කෑවාය . මුහුදු අශ්වයෙකු මෙනි රැලි අතරින් ඉහළ පහළ පීනා ගිය ඇය , දිය මතට පැමිණ දිගු හුසමකින් ලය පුරවාගෙන යළි , ගැඹුරු පතුලට බැස  මගේ අහිංසක මාංශ අනුභවයෙන් පසුව  තල්මසෙකු මෙන් " හෝස් " හඬින් සුසුම් හෙළුවාය .

මම ඩෝරා ට ආදරය කළෙමි . එහෙත් ඉවසා ගත නොහැකි වූයේ  රැකියාව නිම වී නිවසට පැමිණෙන විට ඇය සමග පැමිණි පිලී ගඳයි . රාත්‍රිය පුරාම මට දැනුණේ මාළු කඩයක් ඇතුලේ නිදා ගෙන සිටිනවා මෙනි. බලහත්කාරයෙන් නාන කාමරයට පිටත් කර යැව්වද , ඇය යළි ආවේ ලුණු ගඳක් සමගයි. ලොව හොඳ සුවඳ විලවුන් වර්ග වලට  වත් ඒ ගඳ පළවා හරින්නට නොහැකි විය.

දවස පුරා  මාළු බහා ඇති පෙට්ටි වල අයිස් කැට  අතපත ගාන ඩෝරා ගේ ඇගිලි තුඩු රාත්‍රිය පුරාම එලවා ගත නොහැකි සීතලින් වැසී තිබුණි. ඒ සීතල ඇගිලි තුඩු මගේ සංවේදී ඉන්ද්‍රියන් ස්පර්ෂ කරද්දී මුවින් පිටවන කුණු හරුප වලට ඇය බිය වූවාය.

"මං පුංචි කාලේ ඉඳන්ම හීන මැව්වේ මාළු කඩයක වැඩ කරන්න. දවසක් මම අපේ ගෙදර මාළු ටැංකියේ හිටපු කාර්ප් මාළුවා එළියට අරං සුද්ද කරළා, කපලා හැඩ බැලුවා . මම අනාගතේ සීරියල් කිලර් කෙනෙක් වෙයි කියලා හිතලා අපේ අම්මා මාව මානසික වෛද්‍යවරයෙක් ළගටත් එක්ක ගියා. පස්සේ කාලෙක මම මාළු විකුණන එක ගැන පාඨමාලාවක් කෙරුවා. මාළු කාරයාගේ ජොබ් එකත් හැදෑරිය යුතු , කලාවකට අනුව කළ යුතු එකක් කියලා මම දැන  ගත්ත. .." ඇය කීවාය.

"උඹ ඒකිට ආදරේ කරනවා නම් මාළු ගඳක් ආවා කියලා කොහොමද ඒකිව අතාරින්නෙ..?"
"මං දන්නේ නැහැ අකිල. මම හිතුවේ නැහැ රස්සාවෙන් පස්සේ ඒ රස්සාවේ ගඳ සුවඳ හෙවනැල්ලක් වගේ අපේ ජීවිත වලට මෙච්චර එකතු වෙනවා කියලා.."

"ඩෝරා ට කියපං රස්සාව අත අරින්න කියලා..."
"ඒකි රස්සාව වෙනස් කරන්න කැමති නැහැ. ඒකි ගේ හීන රස්සාව ඒක ..."

කොතරම් රූමත් වුවද හැඩකාර වුවද , යහපත් සිත් ඇත්තී වුවද ප්‍රංශ කෙල්ලෙක් සමග අනාගතයක් ගොඩ නගා නැගීමේ වුවමනාවක් මට නොවිණ. ආශාව යටපත්ව ගිය දිනයට ඉතිරි වන්නේ සෙනෙහස ආදරය පමණි. ආශාව යටපත්ව ගිය දිනයට සෙනෙහසක් ගොඩ නගා ගත හැක්කේ  අපේම ගැහැනියක් සමග පමණි. ඩෝරා වෙනුවෙන් මෙතෙක් කාලයක් ගොඩ නැගී තිබුණු ආශාව වියැකී ඇති බවත් , වෙන්ව යා යුතු මොහොත පැමිණ ඇති බවත් ඍජුවම කියා ගැනීමට කොන්දක් මට තිබුණේ නැත .

ගැහැනියකගෙන් වෙන්ව යාමට වුවමනා වූ විට පිරිමින් කරන්නේ ඒ ගැහැනියගේ වැරදි සෙවීමයි. ඩෝරා සටන් කළාය . තමන්ගේ වැරද්දක් ඇත්නම් නිවැරදි කර ගැනීමට පොරොන්දු වූවාය. එහෙත් ඇගේ මේ උත්සාහය හමුවේ මගේ කෝපය එක දිනක දෙදරා ගියේ නොකිය යුතුම දේ මුවින් පිට වීමත් සමගයි.

"මට බැහැ ඔයා එක්ක ඉන්න. ඔයා ළඟ හැම තිස්සෙම මාළු ගදයි . මේ මුළු ගේම මාළු ගදයි ..."
   යාමයේ ඩෝරා හඬා වැටුණු අයුරු මට මතකය. මගේ නරුම වදන් වල කර්කශ බව අදහා ගත නොහැකිව මුළු රැයක්ම නිදි  වැරූ ඇය පසුදා අලුයම් කාලයේ මගේ නවාතැනින් පිට විය. ඇගේ තනියට සිටියේ නවාතැනට එන විට රැගෙන ආ විශාල ඇඳුම් බෑග දෙක පමණි .

යළිත් කිසි දිනක මාළු කඩයේදී ඩෝරා ගේ රුව මට දකින්නට ලැබුණේ නැත. ඇය රැකියාවෙන් ඉල්ලා අස් වුණු බවත් , මේ මොහොතේ රැකියාව කරන්නේ කොතනදැයි තමන් නොදන්නා බව සේවකයෝ කීහ. මගේ දුරකථන ඇමතුම් වලට පිළිතුරු නොදුන් නිසා ඇයව සොයා ගැනීමට දැරූ මගේ සියලු උත්සාහයන් අසාර්ථක විය.

මෙතෙක් කාලයක් මගේ හිසට බරක් වූ  මාළු ගඳ ඩෝරා ගේ නික්ම යාමත් සමග සුවඳක් බවට පරිවර්තනය වූයේ කෙසේදැයි මම නොදනිමි. නිවසට ඇතුළුවන සෑම මොහොතකම ඒ මාළු සුවඳ දැනී ඩෝරා ගැන මතකය අවදි වන්නට විය. කළෙක මට හිරිහැරයක් වූ ඇගේ සුවඳ නිවසින් පිටත නොයන සේ ආරක්ෂා කර ගනු පිණිස සීත කාලය පුරාම එකදු කවුළුවක් වත් විවර නොකර දවස් ගෙවා දැමුවෙමි .

දැන් වසර පහළොවකට පසුව ඩෝරා මා ඉදිරියේ සිටියි. කාලය විසින් ඇති කරන ලද වෙනස්වීම් හැරුණු විට ඇය තවමත් රූමත්ය. හැඩය. 
"කොහොමද නාලකා .. ඔයා බැඳලද .. බබාලා ඉන්නවද..?"
"ඔව් ඩෝරා .. බැඳලා . දුවයි පුතයි ඉන්නවා... ඔයා..?"  
"මම නම් බැඳලා නැහැ. ළමයිනුත් නැහැ.. හැබැයි පෙම්වතෙක් ඉන්නවා...ඒක නෙමෙයි..දැන් මගේ ළඟ මාළු ගඳ නැහැ නේද...? 
"තරහා වෙන්න එපා ඩෝරා .. මගේ කටින් පිට වුණේ නරක වචන ටිකක්. සමාවෙන්න..."
"තරහක් නැහැ නාලකා .. තරහා නම් මම මෙහෙම ඇවිත් ඔයා එක්ක කතා කරන්නේ නැහැ නේ. ඔයාව වැළඳ ගන්නේ නැහැනේ. අනෙක ඔය කතාව මට කිව්වේ ඔයා විතරක් නෙමෙයි. තවත් බෝයි ෆ්‍රෙන්ඩ් ලා දෙන්නෙක් කියලා තියනවා. බැරිම තැන මම හැමදාම ආස කරපු ඒ මාළු රස්සාවෙන් අයින් වුණා . එහෙම තමයි පිරිමි. ගෑනු අපි එයාලගේ හැම ගඳ සුවඳක් ම උහුලා ගත්තට එයාලා උහුලා ගන්නේ නැහැ. පිරිමි එහෙම තමයි . විශේෂයෙන්ම එයාලට කේන්ති ගියාම ඒ වගේ වචන වලින් අපිට දමලා ගහනවා.  මගේ දැන් බෝයි කේන්ති ගියාම කියනවා මගේ ළඟ පැට්රල් ගඳයි කියලා. ඕවා මම ගණන් ගන්නේ නැහැ ...."
"ඔයා මේ රස්සාවට කැමතියිද...?"
"වරදක් නැහැ.. මම සතුටින් ඉන්නවා. ඒකනේ වැදගත් ඔයත් සතුටින් නේද...? "
"ඔව් ඩෝරා මමත් සතුටින්..."

ඇගෙන් සමුගෙන වාහනයට නැග ගත් විට වින්ද්‍යාගේ  ලේ කඳුලක් නැති මුහුණ මම දුටිමි.

"මොකද පරක්කු වුණේ ..?"
"පරණ යාලුවෙක් හම්බ වුණා.."
"කව්ද..?"
"ඩෝරා .."
"පරණ කෑල්ලක් නේද..? මාළු කෑල්ල කියලා නේද ඔයා ලා කිව්වේ..."
"ඔව්. කොහොමද දන්නේ..?"
"අකිල ගෙන් මම ඔයාගේ අතීත කතාව අහගෙන තියෙන්නේ.."
"අකිලයා ..පරයා .."

යළිත් වරක් වාහනය පණ ගන්වා ගෙන නිවාඩු ගත කරන්නට යන මාවතේ ටික දුරක් ගමන් කරද්දී , වින්ද්‍යා කවුළුව විවර කළාය .
"මොකද ඔය කරන්නේ...?"
"වාහනේ ඇතුලේ මාළු සුවඳක් ආවා..අලුත් හුළං ටිකකට ඇතුළට එන්න දීලා පරණ ගඳ අයින් කරන්න කියලා හිතුවේ..."

පිරිමි වදන් වලින් පහර දෙන්නේ ගැහැනියකට ඇති ආදරය අඩු වූ විටලු. එහෙත් ගැහැනිය එසේ කරන්නේ තමන්ගේ මිනිහා කෙරෙහි ඊර්ෂ්‍යාවක් ඇති වුණු විටදීලු. අකිල ගොනා එසේ කීවා මතකය.  

Nissanka Rajapaksa

unread,
Dec 4, 2023, 4:34:14 PM12/4/23
to INDRAKA group
34

සමූලඝාතනය


අජිත් පැරකුම් ජයසිංහ

“ඉස්කෝලවලට කොටි ගහනවලු." ඒ ආරංචිය ලැව් ගින්නක් සේ පැතිරිණි.

අපේ හමුදාව එහේ ඉස්කෝලෙකට ගුවනින් බෝම්බ දාලා ය කියන පුවත වෙබ් අඩවිවල තිබුණත් කවුරුවත් ඒ ගැන කතා නො කළ හ.

ඒක: වෙබ් අඩවිවල තියෙන්නෙ බොරු ය.
දෙක: එහෙ ඉන්නෙ කොටි ය.
තුන: ළමයි කියන්නෙ කොටි පැටව් ය.
හතර: ඉස්කෝලවල කරන්නෙ අනාගතේ මරාගෙන මැරෙන්න සොල්දාදුවන් හදන එක ය.

ඒවා එහෙම නො වුණත්, උන්ට හොඳ පැටිගිරියක් නැහැ. මායිම් ගම්මානවලට පැනල කිරි දරුවන් පවා කැතිගාලා, වෙඩි තියලා, මරා දමලා තියෙනවා.

අනෙක අපේ හමුදාව එහෙම මානව හිමිකම් උල්ලංඝනය කරන්නෙ නැහැ. අසූනමය දැන් අදාළ නැහැ.

අපට උන්ගෙ මානව හිමිකම් වැඩක් නැහැ. මානව හිමිකම් කියන්නෙ බටහිර අදහසක්. බටහිරින් සල්ලි ගන්න එන්ජීඕකාරයෝ තමයි ඔය අදහස් පතුරුවන්නෙ.

“ඉස්කෝලවලට කොටි ගහනවලු."

උන් හැම තැනට ම ගහනවා. නො ගහන තැනක් නැහැ. තැපැල් කන්තෝරුවෙත් බැරියර්. උන් ලියුම්වලට පවා ගහනවා.

ගුරුවරියෝ ඔක්කොම තමන්ගෙ ළමයින් අරගන්න ටවුමෙ ලොකු ඉස්කෝලවලට දිව්ව හ. දුවන්නට කලින් පැමිණීම අත්සන් කරන්නට කවුරුවත් අමතක කළේ නැත. නැතිනම් නිවාඩු වැටෙනවනේ. අද ඉස්කෝල වහයි. නිවාඩු වැටුණොත් අපරාදෙ.

ගමේ මිනිස්සුත් බය වුණ හ. ඔවුන් බලා සිටියේ බය වෙන්නට ම ය. සිතියමේ කාටවත් හොයාගන්නට බැරි නන්නාඳුනන කොණ්වල ඉස්කෝල ඉදිරිපිටත් දෙමව්පියෝ ළමයින් ගෙදර ගෙන යාමට ඉල්ලමින් ගේට්ටු ගාව රැස් වුණ හ. 

බය වීම රට ජාතිය වෙනුවෙන් කරන යුතුකමකැයි සිතන්නා වැනි විය. උය-උයා, රෙදි හෝද-හෝද, රූපවාහිනී බල-බල හිටි ගමන් දත් නොමැදි කටවලින් ආරංචිය කිය-කියා, කොණ්ඩා අල්ලා හිස් මුදුනින් බැඳ-බැඳ අම්මලා ඉස්කෝලෙට දිව්ව හ. සමහරු හිටියේ නයිටියට යටින් බ්‍රෙසියර් එකයි, යට සායයි ඇඳගෙන ය.

“ළමයි ටික බලාගන්න. මහත්තයලා ගේට්ටුව ළඟ මුර කරන්න. මං යනවා කලාප කාර්යාලෙට උපදෙස් ගන්න," යි කියූ විදුහල්පතිතුමා යතුරුපැදියේ නැග පිටත්ව ගියේ ය.

අම්මලා ඔක්කොම ගේට්ටුව ළඟ රැස්වෙලා එක සැරේ කතා කළ හ.

“ටවුමෙ ඉස්කෝල ඕකුන්ගෙ අම්මලට වහලා මරන්න ඕන නිමල් අයියා කන්න එපායැ ළමයි අරන් ආවා අපේ මහත්තයා අපට වැඩක් නැහැ හමුදාවෙ අපේ ළමයි එයා කියනවා අපට ඕනැ කන්න ඕනැ මාර වැඩක්නේ ආරක්ෂාව කෝ මේක වේස බල්ලො ලොකු සර් කෝ කියල වැඩක් නැහැ ළමයි කියලා බලන එකක් නැහැ එයා ගිහින් ප්‍රභාකරන් කිව්වලු එයා ඉතින් ඔක්කොටම ඉස්සෙල්ලා මගඅරිනවා සිංහල මිනිස්සුන්ට ඕකව මාරු කරන්න ඕනැ සති දෙකයිලු ඕනැ දෙයක් මතක.................."

“ළමයින්ව අපි බලා ගන්නවා," විනය භාර ගුරුවරයා කීවේ ය. 

“බලාගන්න මිස්ලා කෝ? ඔක්කොම ඔය දිව්වෙ සාරි කඩාගෙන ඒගොල්ලන්ගේ ළමයින් ගන්න ටවුමෙ ඉස්කෝලවලින්," වෙනදා බයාදු පෙනුමක් ඇති කෙට්ටු ගැහැනියක් කීවා ය. තනි තනිව පාසලට ආ විට දෑත් ඉදිරියෙන් අල්ලාගෙන අඹරවමින් මඳක් ඉදිරියට නැමී හිස ඇල කරගෙන කණට ඇසෙන නෑසෙන හඬින් කතා කරන ඇගේ කටහඬ අද එඩිතර ය. ප්‍රකුපිත ය. 

නැවත බරබරය ඇවිලිණි. 

“නිකං ඉඳලා උන්ගෙ ළමයි විතරද පඩි ගන්නවා ළමයි නිවාඩු හැමදාම අපේ ළමයි නිදි කිරනවා ළමයි නෙමෙයි ද පොඩ්ඩ බැරි වුණොත් අපට අපේ ළමයි එනවා අපේ කටේ අතුල්ලන්න අපට ඕනැ කටු බැල්ලියො වගේ මහ එකත් නෑ මෙතන ආරක්ෂාව මොනවා හරි වුණොත් කාලකන්නි මුන්ද ගුරුවරු..............."

දෙකේ පංතියේ ගැහැනු ළමයෙක් අඬාගෙන ගේට්ටුව ළඟට ආවා ය. ඇගේ ගවුම දම් පාට ය. සේදූ රෙදිවල දීප්තිය වැඩි වීමට දමන කුමක්දෝ බාල දියරයක් වැඩියෙන් දමලා ය. එහි තැන් තැන්වල පැල්ලම් ය. ගවුම පොඩි වෙලා ය.

“සර්, අහිංසා මට පැන්සලෙන් ඇන්නා," ළමයා බාහුවේ සීරීමක් පෙන්වමින් කීවා. 

“කෝ උඹේ ටයි එක?" විනය භාර ගුරුවරයා ඇසුවේ ය.  

ළමයා නිරුත්තර ය. ඇය දමා සිටියේ රබර් සෙරෙප්පු ය.

“පලයං පන්තියට," විනය භාර ගුරුවරයා ගුගුළේ ය. බියපත් ළමයා හඬමින් පසු නො බලා ම පන්තියට දිව්වා ය. 

“ඒයි! මෙහෙ වරෙල්ලා!" විනය භාර ගුරුවරයා එහෙ මෙහෙ යමින් පංතිවල කෑගසන කොල්ලන්ට තලමින් සිටි එකොළහේ පන්තියේ ශිෂ්‍ය නායකයින්ට කතා කළේ ය. 

“ඒයි විජිනි, උඹ පලයං අර දෙකේ පන්තියට. ඒකෙ ඉන්න අර ලැයිමෙන් එන කලවං කෙල්ලට ළමයෙක් ගහලා කියනවා, බලපං. ටීච එනකල් උඹ ඒ පංතිය බලා ගනින්!"

ශිෂ්‍ය නායිකාවන් දෙදෙනෙක් අතිනත අල්ලාගෙන ලැසි ගමනෙන් දෙකේ පන්තිය දෙසට ගිය හ. විනය භාර ගුරුවරයා සිගරැට්ටුවක් බීමට කැන්ටිමට ගියේ ය.

ගුරුවරු ගේට්ටුව වසා දමා, මුරට ශිෂ්‍ය නායකයන් තබා පාසල ඇතුළේ පිහිඹියා ගස යටට ගිය හ. ගේට්ටුව ළඟ කං කරච්චලය දිගට ම පැවතිණි. 

භූගෝල විද්‍යාව උගන්වන සිරිවර්ධන මිස්ට ප්‍රශ්නයක් නැත. විශ්‍රාම යන්නට කිට්ටු වයසේ සිටින ඇයට සිටින්නේ පුතෙකු පමණි. ඔහු දැන් වෛද්‍ය විද්‍යාලයේ අවසන් වසරේ ය. තව අවුරුදු කීපයකින් සිය පවුලේ දුක්ඛ දෝමනස්සයන් සියල්ල යුද්ධයෙන් හෙම්බත් වී සිටින ශ්‍රී ලංකාද්වීපයේ දමා විශ්‍රාමික ගුරු යුවල සිය පුතු සමග බටහිර යුරෝපයට, ඇමරිකාවට, කැනඩාවට, ඕස්ට්‍රේලියාවට හෝ නවසීලන්තයට යනු ඇත. සිතියම් පොතෙන් මේ රටවල් ගැන අතැඹුලක් සේ දැන සිටිමුත් ඇය ලංකාවේ දේශසීමාවෙන් ඔබ්බට කිසිදාක පය ගසා නැත. 

“මේ රට හරියන්නෙ නැහැ සර්," ඇය කණ්ඩිය උඩ පිහිටි බුදු මැදුරට නගින පඩි පෙළ අමාරුවෙන් නගින අතර කැන්ටිමට යමින් සිටි විනය භාර ගුරුතුමාට කීවා ය. ඔහු නෑසුණා සේ ගියේ මේ වෙලාවට සිගරැට් උගුරක් නො ඇද්දොත් හාට් ඇටෑක් එකක් හැදෙන්නට පවා ඉඩ ඇති බව සිතමිනි.

“මොන එකකට මේක මෙච්චර උඩින් හැදුවද මන්දා," යි කියමින් සිරිවර්ධන මිස් සිය මාංශාධික සිරුර පඩියෙන් පඩියට ඔසවන කල පහළින් පැමිණි නමයේ පන්තියේ ගැහැනු ළමයින් අතර සිටි එකියකගේ මනසේ තඩි වොල්රසකුගේ රූපයක් ඇඳී මුවගට සිනාවක් නැඟිණි. 

බුදු මැදුරට පිවිසි සිරිවර්ධන මිස් වවුල් ගඳ හා මී ගඳ නිසා නැහැය හකුළුවා ගත්තා ය. 

“ඔන්න බුදුනෙ මල්, මෙන්න මං ගියා කියලා මල් ටික තියලා දුවනවා මිසක මෙතන අස් කරන්න මේ ළමයින්ට උවමනාවක් තියෙනවා යැ," යි කියූ සිරිවර්ධන මිස් සාරි පොටින් මුහුණේ යට අර්ධය වසා ගත්තා ය. 

කොල්ලෙක් කොස්සෙන් මල් ආසනය පිස දමන්නට සැරසුණේ ය. සිරිවර්ධන මිස් බුරා පැන්නා ය. කෙල්ලෝ හිකි හිකි ගෑ හ. කොල්ලා කර තිබුණේ බොරුවකි. ඔහු කිසිවක් නොවූවා සේ බිත්තියේ මකුළු දැල් කැඩුවේ ය. ගැහැනු ළමයි සීරුවෙන් මල් ආසනය පිරිසිදු කළ හ. 

සිරිවර්ධන මිස් අරලිය ගස යටට පා වී ගොස් ජංගම දුරකථනයෙන් පුතාට ඇමතුමක් ගත්තා ය.

“කෑවද පැටියෝ?" 

“ඔය පැටියා මෙයාටත් වඩා අලියෙක්." මකුළු දැල් කඩන කොල්ලා සිරිවර්ධන මිස්ට නෑසෙන ලෙස කීවේ ය. කෙල්ලෝ ද ඇය දෙස බලා මුහුණ සඟවා ගනිමින් දසන් නොම දක්වමින් සිනාසුණ හ. 

ගේට්ටුව අසලට ලංකාදීප පත්තරයක් පැමිණ ඇත. පුළු පුළුවන් අය උඩින්, යටින්, වටෙන් එයට එබිකම් කරලා ය. බැරි අය කම්මුල්වල අත ගසාගෙන අසා සිටිති.  

පාසලක ගේට්ටුව අසල ගැවසුණු මුස්ලිම් මිනිසකුට සිසුන්ගේ මව්පියන් පහර දීම නිසා රෝහල්ගත කර සිටියදී මිය ගොස් ඇත. 

“මැරිලා තියෙන්නෙ හෘදයාබාධයකින්. මිනිස්සු ගහපු නිසා නෙමෙයි." පත්තරය කියවමින් සිටි ත්‍රිරෝද රිය පදවන පියා කීවේ ය. 

“ඔය මිනිහා කරන්නේ ඉස්කෝලවල උත්සවවලට හයිඩ්‍රජන් බැලුන් සපයන එක. අපේ ලොකු පුතාලගේ ඉස්කෝලෙත් ස්පෝට්මීට් එකට හයිඩ්‍රජන් බැලුන් පා කළා. හරි ලස්සනයි," කලා විෂය ධාරාවෙන් උසස් පෙළ සමත් වුණත්, ගුරු පත්වීමක් නො ලැබුණ නිසා ගුරුවරුන් එක්ක තරහා, ඔවුන්ගේ ඉගැන්වීම් ගැන නිතර සදය උපහාසයෙන් කතා කරන දුලානි කීවා ය. “හයිඩ්‍රජන් ඔක්සිජන්වලට වඩා බරින් අඩුයි නේ. අපේ පුතා කරන්නෙ මැත්ස්. කෙමිස්ට්‍රිවලට පන්ති යන්නේ බද්දෙවිතාන සර් ළඟට."

“ඉතින් අපට මොකද?" යි සෙනග අතර සිටි තවත් කවුරුද ගැහැනියක් කීවා ය. දුලානි ඉලක්කයක් නොමැතිව රවා නිහඬ වූවා ය. 

දෙකේ පන්තිය භාර මිස් කැටුව ටවුමේ කඩයක හිමිකරුවකු වන ඇගේ සැමියා යතුරුපැදියෙන් පැමිණියා ය. 

“මොකවත් ප්‍රශ්නයක් නැහැ," යි කියූ ඇය පන්තියට යන්නට පෙර පාසල් වත්තේ පිහිඹියා ගස යට රැස් වී සිටි ගුරු මහත්වරුන් සමග අත පය විහිදුවමින් සෑහෙන වෙලාවක් කතා කරමින් සිටියා ය. ඇගේ සැමියා පිටත්ව යන්නට පෙර ගේට්ටුව අසල සිටි ත්‍රිරෝද රියදුරා ඔහු නවත්වා ගත්තේ ය.

“පොලීසියෙන් නෑ නෑ මොකුත් ප්‍රශ්නයක් ළමයි ගෙනියන්න ප්‍රින්සිපල් වටේටම ගාඩ් එක දුන්නෙ නැහැ ප්‍රිෆෙක්ට්ලා ගේට්ටු ඔක්කොම වහලා ඒක තමයි කාටවත් කරදරයක් අපි කලබල නෑ වුණේ මන්ත්‍රීතුමත් ආවා බොරුවට රේඩියෝ එකේ මරන්න ඕනැ කාලකන්නි මේකෙත් ඉන්නවා දෙමළු ඕකුන්ට උදව් ඉන්නෙ නම් අහිංසකයෝ තම්බිත් එකයි කරන එවුන් එන්ජීඕ බොරුනේ ඒව කොහෙද මාළු කනවා.........."

“මගෙ පුතාට බුදු සරණයි. එළියේ යන්න එපා. ඇතුළෙම ඉන්න," යි කියා සිරිවර්ධන මිස් දුරකථනය විසන්ධි කරන විට ළමයි බුදු මැදුර අස්පස් කර හමාර ය. අලුත් මල් තබා, සුවඳ කූරු දැල්වූ විට මී බෙටි හා වවුල් මුත්‍ර ගඳත් සමන් පිච්ච මල් සුවඳත් මුසුව ගඳක් ද සුවඳක්දැයි කියන්නට බැරි අමුතු වාතාශ්‍රයක් බුදු මැදුරේ රැඳිණි. 

සිරිවර්ධන මිස් ළමයින් සමග ශබ්ද නගා පන්සිල් ගෙන, ගාථා කියා මල්, පහන්, සුවඳ දුම් පිදුවා ය. හදිසියකින් තොරව ශබ්ද නඟා මෛත්‍රී භාවනාව වැඩුවා ය. මකුළු දැල් කැඩූ කොල්ලා ඇයට නො පෙනෙන්නට මදුරුවකු තැලුවේ ය. අසල සිටි කෙල්ල හොරෙන් බලා ඇස්වලින් නක්කලේට හිනා වුණා ය. කොල්ලා යටි තොළ සපා ආකාසට්ඨාච බුම්මට්ටා ගාථාව හයියෙන් කිව්වේ ය. සිරිවර්ධන මිස් ද විමතියෙන් ඇස් කොණින් බැලුවා ය. 

බුදුමැදුරේ වතාවත්වලින් අනතුරුව මකුළු දැල් කැඩූ කොලුවා අද දවසට දෙවෙනි වතාවටත් මුත්‍රා කරන්නට කැසිකිලිය පැත්තේ ගියේ ය. ඔහු දවසට විසි වතාවක්වත් එහි යන්නේ අධ්‍යාපනයෙන් නිදහස භුක්ති විඳින්නට ය. 

සිරිවර්ධන මිස් ඇඟ පත උස මහත නමයෙ පන්තියේ නීලිකා වාරුවට ගනිමින් අමාරුවෙන් පඩි පෙළ බැස්සා ය. නගින එකට වඩා බහින එක අමාරු ය. 

ඇය කෙළින් ම ගියේ ගස යට රැස් වී සිටි ගුරුවරුන් වෙතයි. දෙකේ පන්තියේ මිස් හෙමින් සැරේ පන්තිය දෙසට ගියා ය. 

සිහින් සුළං රැල්ලක් හමා ගියේ ය. කැන්ටිම පැත්තෙන් සිගරැට් සුවඳක් හමා ආවේ ය. පිහිඹියා ගහේ සිඟිති මලක් රැළි වැටුණු මුහුණක් හිමි ගුරු මහතෙකුගේ ඩයිවලින් තද කළු පැහැ ගන්වන ලද කෙස් කළඹේ රැඳුණේ ය. 

“සමූඌඌඌඌලඝාතනයක් කරන්න ඕනැ සර්," සිරිවර්ධන මිස් එතැනට පාවී එමින් කීවා ය. ඇගේ අතේ ගෙදරින් ගෙනත් හිස් කරන ලද මල් වට්ටිය තිබිණි. 

“මොකක්ද මිස් කරන්න ඕනැයි කිව්වෙ?" 

“නෑ මං කිව්වෙ සමූලඝාතනයක් නොකර මේක හරියන්නෙ නැහැ."

Nihal Ananda

unread,
Dec 4, 2023, 11:57:25 PM12/4/23
to INDRAKA group
මාළු කඩේ  ඩෝරා .....කතාව මරු !

Nihal Ananda

unread,
Dec 5, 2023, 12:10:16 AM12/5/23
to INDRAKA group
අජිත් පැරකුම් ලේඛකතුමා ......කොටින් ඔසවා තබන ,  සි⁣ංහල බයියෝ මස්ත බාල්දු කරන ..... මෙි කතා ලියන්නට ඇත්තේ , කාලෙකට ඉහත විය යුතුය.
දැන් නම් මේ ජාතියෙ එව්වා ලියන්නෙ නැත....!
දැන් ලියන්නේ්...රට ගොඩ ගන්නටය ....  රනිල්  ආන්ඩුවේ      දවල් හීන ගැනය ..... ඒවානේ නියම ප්රබන්ධ..... !!  

Nissanka Rajapaksa

unread,
Dec 5, 2023, 5:32:40 PM12/5/23
to INDRAKA group

35

දත් 32 - (John Collier ගේ Another American Tragedy කෙටිකතාව ඇසුරින් )

නිර්මාණය : දිල්රුක්ෂි රත්නායක
පළමු දර්ශනය
ප්‍රසිද්ධ දන්ත වෛද්‍යවරයෙකුගේ කාමරයක දර්ශනයක්. දන්ත වෛද්‍යවරයා ඊලඟ රෝගියා කැඳවයි, තරුණයෙක් පැමිණ දත් පුටුවේ හිඳගත් වහාම දන්ත වෛද්‍යවරයා ඔහු අසලට තම පුටුව ඇදගනී.
දන්ත වෛද්‍යවරයා: කෝ බලමු! (මේසය මත වූ මුඛය පරීක්ෂා කරන කුඩා රවුම් කණ්ණාඩියක් අතට ගෙන දත් පරීක්ෂා කිරීමට සැරසේ)
තරුණයා:  ඕක උවමනා නෑ. දොස්තර මහත්තයෝ , මගේ දත් ටික සේරම ගලවලා දාන්න.
දන්ත වෛද්‍යවරයා: (තරුණයාගේ විහිලුවට මද සිනාපාමින්) ඒ වුනාට,  මට නම් පේන්නෙ ඔබේ දත්  ඉතාම නිරෝගී ශක්තිමත් ඒවා..
තරුණයා:   (දත් පුටුවෙන් හිස ඔසවමින්) ඒ වගේම තමයි මගේ සල්ලිත්, සල්ලි ඕනෙ නම් ගලවන්න මගේ දත්.... විහිලුවකට නෙමේ... මම මේ කියන්නෙ ඇත්තටම. සේරම ගලවලා දාන්න.
දන්ත වෛද්‍යවරයා: (මඳක් පසුබට වෙමින්)  ඒ වුණත්, දිරා ගිහින් නැති, නීරෝගි මේ වගේ දත් නිකරුණේ ගලවා දමන එක අපේ සාරධර්ම වලට විරුද්ධයි.
තරුණයා:    සාරධර්ම?(කල්පනා කරමින්) සාර - ධර්ම (මහ හඬින් සිනාසී සිනාව නවතා සාක්කුවෙන් මුදල් නෝට්ටු මිටියක් එළියට ගනී. )
දන්ත වෛද්‍යවරයා: (මුදල් දෙස නොබලා ) මේ වගේ හොඳ ශක්තිමත් දත් ටිකක් ගලවලා අයින් කරන්න කියනවානම් ඉස්සෙල්ලම වෙන වෛද්‍යවරයෙක් ගාවට යන්න වෙයි. මොළේ... නෑ මං කියන්නෙ මේ හිතේ අමාරුවක් වෙන්න ඇති... මං පොඩි සොයා ගැනීමක් කරල තියෙනවා,....දතේ අමාරු වැඩි වෙන්නෙ හිතේ අමාරු වැඩිවෙන කොට...විශේෂයෙන්ම උඩු ඇන්දේ මේ ඥාණ දතේ..
තරුණයා: ..ඔය කතා කළා ඇති.. මගේ දත් ටික ඔක්කොම ගලවලා දානවද නැද්ද?
දන්ත වෛද්‍යවරයා: (කිසිත් නොකියා දෙවුර සලා වැඩ අරඹයි..දත් තිස් දෙකම ගලවා ඉවත් කල සැනින් දත් ගැලවූ අඬුවෙන්ම තරුණයා අතේ තිබූ මුදල් මිටිය ඩැහැගනී.) ඔන්න ඉවරයි
තරුණයා:   ම්ම්... (කට වසාගෙනම , ගොලුබසින් කැඩපතක් ඉල්ලාගෙන බලා ලොඹු කටින්) දැන් හොඳයි...මට තව එක දෙයක් කරගන්න ඕනේ... මට කෘතිම දත් කුට්ටමක් හදල දෙන්න කොච්චර දවසක් යයිද?
දන්ත වෛද්‍යවරයා: (විශ්මයට පත්වෙමින්) දවස් තුන හතරක්...?
තරුණයා:   හොඳයි එහෙනම් අදම  ඒකට මිනුම ගන්න...(සාක්කු සියල්ල පිරික්ෂා තම අන්තිම මුදල් නෝට්ටු කීපය ගෙන දොස්තරට දෙයි)
දන්ත වෛද්‍යවරයා: (මුදල් සාක්කුවේ දමා ගනිමින් අච්චුවට අවශ්‍ය ද්‍රව්‍ය ගෙන ඒමට තරුණයාගෙන් ඈත්ව) බාග වෙලාවට අමාරුව ඇත්තෙ දත්වල නෙමේ මේකගේ මොළේ... පිස්සු මෝඩයෙක්...
තරුණයා:  (එය හරියට නොඇසීම නිසා) මොකක්ද ....?
දන්ත වෛද්‍යවරයා: නෑ මං කිව්වෙ වැස්ස මෝරනව.. හෙට අනිද්දා වහීවි... (නැවත තරුණයා වෙත ගොස් හනුවල අච්චුව ගෙන ) බ්‍රහස්පතින්දට ඇවිත් දත්කුට්ටම ගන්න පුළුවන්.


දෙවන  දර්ශනය
වේදිකාවේ මැද පසුපසට වන්නට රෝගියකුගේ කාමරයක් අඳුරේ ඇත. කාමරයේ තරුණ හෙදියක් හා ඇඳක වැතිරුණු ලෙඩෙකුද නොසෙල්වී අඳුරේ සිටි. වේදිකාවේ ඉදිරිපස පමණක් ආලෝක කර ඇත. වාහනයක් නවත්වන හඬ ඇසේ. තොප්පියක් පැළඳි තරුණයා වේදිකාවේ වම්පසින් ඇතුළු වේ. 
තරුණයා:   (දත් කුට්ටම සපා බලමින් තමාටම) ෂ: කියල වැඩක් නෑ දත් කුට්ටම නම් නියමෙට හදලා තියෙනවා...දත් දොස්තරයා හිතන්න ඇත්තෙ මං මෝඩයෙක් කියලා...(සිනා සෙමින්) ඒ වුනාට මිනිහ දන්නවයැ මං ලස්සනට ප්ලෑන් කරල තිතට වැඩක් දෙන්න යනව කියලා....(වේදිකාවේ දකුණු පසට ඇවිද යමින්) මේක තමයි අපේ මාමාගේ ගේ, බලපල්ලකෝ මේ ගෙදර ලොකු ... මාමා තනිකඩයා....(තම ඇඳුම සකසා ගනිමින්) හොඳ සල්ලිකාරයා...ලක්ෂ ගානක දේපල..... හැබැයි කුණා.. ඒකනේ මේ ගෙදර තීන්ත ටිකක්වත් ගාලා නැත්තෙ. මිනිහට එච්චර වයසකුත් නෑ. ඒ වුනාට ලෙඩගානේ...පසු උරුමෙට කවුරුත් දරුවෙකුත් නෑ.... කොහෙද මං ගැනවත් එච්චර පැහැදීමක් තිබුණයැ කවදාවත්ම....(දොරට තට්ටු කරමින්) මාමේ...මාමේ....
හෙදිය දොර අසලට පැමිණේ...
හෙදිය:        (තරුණයා දෙස සැකමුසුව බලමින්) කවුද?
තරුණයා:   (හෙදිය ගේ රුවට වශී වෙමින්, තොප්පිය ගලවා අතට ගෙන කට පුරා සිනාවක් නගා දත් කුට්ටම වැටේයයි බිය වෙමින්)  මම ... මම මේ බොහෝම ඈත, .. අගනුවර ඉඳලා ආවේ...ඇඳෙන් බහින්න බැරි තරමට අසනීප වෙලා ඉන්න මගේ අසරණ මාමා බලන්න... අනේ එයාට දෙයියන්ගේම පිහිට ලැබෙන්න ඕනේ..., ඉටි රූපයක් වගේ බැබලි බැබලි ලස්සන මිසී කෙනෙක් මෙහ් ඉදීවි කියල කීයටවත් හිතුවෙ නෑ
හෙදිය:      (සැකමුසුව බලමින් තවමත් දොර අවහිර කරමින් ) මේ ගෙදර මහත්තයා පණිවිඩයක් යැව්වෙ නැහැනෙ කාටවත්...
තරුණයා: මගේ හිතට ලොකු බයක් ආවා මාමාට  අසාධ්‍යයි කියල ... ඒක මගේ හිතට ආවේ කොහොමද කියන්න දන්නෙ නෑ.. අර ටෙලිපතිද මොකක්ද වගෙ, මගේ මොළයට පණිවිඩේ ආවෙ ප්‍රමාද වෙන්නෙ නැතිව මාමා බලන්න යන්න කියල. කෝ... මට ඉඩ දෙන්න එයාගෙ ඇඳ ළඟට යන්න.
(හෙදිය පැකිලෙමින් ඉඩ අවුරාගත් විට ඇතුලේ රෝගියා ගෙන් ලොඹු කටකින් කෙඳිරිලි හඬකින් ඇතුළට එන ලෙස අඬගැසෙයි.  හෙදිය පසෙකට වන අතර දෙදෙනාම රෝගියා අසලට යයි. වේදිකාවේ පසුපස ආලෝකමත් වේ.  සීතල මැඩීමට මුළු ඇඟම වැසෙන සේ රෑ ඇඳුමකින් සැරසුනු ලොඹුකට රෝගියා  ඇඳමත වැතිර සිටී)
තරුණයා:   (ඇඳ අසලට දිව එමින්) අනේ මගේ ආදරණීය මාමේ.... මාමාව ආයෙත් දකින්න ලැබීම මගේ හිතට මොන තරම් සන්තෝෂයක්ද?... ඒ වුණත් මොකද මේ  මාමාගේ අත් දෙක මේ හැටි වෙවුළන්නේ... ඇස් දෙකත් ඇතුළට ගිලිලා.... කෙට්ටුවෙලා , සුදුමැළි වෙලා...
රෝගියා :       (ලොඹු හඬින් ) ඈ බං පුතේ උඹ ඔහොම කිව්වට , උඹෙත් නැහැනෙ සනීපෙන් ඉන්න පාටක්. කෙට්ටුවෙලා.. ඇදිල ගිහිල්ලා ... දත්ටික නොවෙන්ට උඹෙයි මගෙයි වැඩි වෙනසක් පේන්න නෑ නොවැ...
තරුණයා:    ඒක මං ජීවත් වෙන්න කරන සටන නිසා... ආයෝජනයක් කරන්න සෑහෙන මුදලක් අතේ නැතිව කිසිම දෙයක් කරන්න බෑ මාමෙ.. (තරුණයා හෙදිය දෙස බලයි)
පුද්ගලික කතාවට ඉඩදී හෙදිය කාමරයේ දොර වසාගෙන පිටවී යයි.
රෝගියා :     හාං හා...  ඔයා  එහෙනම් හොඳ පැත්තට හැරිලාද?.... පුතා දැන් මත්පැන් බීම  නවත්තලාද?...
තරුණයා:   බීම සම්පූර්ණයෙන්ම නැවැත්තුවා....
රෝගියා :        බොන්න පුරුදු වුනාම ඒක නවත්තන එක හරි අමාරු වැඩක් නේද?... (කොට්ටය යටින් ලොකු විස්කි බෝතලයක් ඇද එලියට ගනිමින්) පුතා බීම නවත්තලා නම් මං කොහොමද ඔයාට කියන්නෙ මගේ බෝතලේට හවුල් වෙන්න කියල. (බෝතලේ කට තබා උගුරු කීපයක් බොයි...තරුණයා කෑදරව එදෙස බලා සිටී)  ගුණ යහපත් වෛද්‍යවරයෙකු මට ලබා දීම ගැන මං දෙයියන්ට ස්තූති කරන්න ඕනෙ. එයා පරණ තාලේ ගම්බඳ දොස්තර කෙනෙක්.. අපි එයාට කියන්නෙ තිරික්කල් දොස්තර කියලා, අර ගොන් කරත්ත - තිරික්කල් තිබ්බෙ... ඒ කාලේ කෙනෙක් නේ....එයා තමයි මට මේ බෙහෙත නිතර බොන්න කියල නියම කලේ.
තරුණයා:   ඒක හින්දා වෙන්නැති මාමාගේ අත් දෙක ඔය තරමට වෙව්ලන්නේ.
රෝගියා :       පුතේ උඹේ අත්දෙකත් වෙව්ලනවනේ මගේ අත් ගානටම. හුඟක් මහන්සි වෙලා  වැඩ කරනව ඇති මයෙ හිතේ. ඒක නෙවෙයි, දැන් සූදුවට එහෙම යන්නෙ නැද්ද?
තරුණයා:   අම්මෝ නෑ... මම සූදුවට යන එක අත්ඇරල කොච්චර කල් වෙනවද.....
රෝගියා :      මට අහන්නත් කණගාටුයි,  ෂා ! අපි දෙන්නට බූරුවා අතක් ගහන්න තිබුනා. අපේ තිරික්කල්  දොස්තර කියන හැටියට කාඩ් ක්‍රීඩාවෙන් මට ලැබෙන උත්තේජනය මගේ ඇඟට හරි ගුණදායකයිලු. එයා කියනවා ඒකෙන් මාව නිරෝගි වෙනවලු. අපි දෙන්නා නිතරම වාගේ සූදු කෙළිනවා රෑ දොළහ එක වෙනකං .
තරුණයා:   ඒකෙන් තමයි මාමගේ ඇස් දෙක ගිලිල තියෙන්නෙ. හරියට නින්දක් නැතිව.
රෝගියා :       හහ්... ඔයාගේ ඇස් දෙකත් ඒ වගේ තමයි.  ඒක නෙවෙයි පුතා ගෑනු ළමයෙක් එක්ක යාළුවෙලා ...
තරුණයා:   පිස්සුද මාමෙ... කෙල්ලෙක් දැකපු කාලයක් වත් මතක නෑ...
රෝගියා :         අපේ තිරික්කල් දොස්තර නම් කියන්නෙ...
තරුණයා:   (සම්පූර්ණ කිරීමට ඉඩ නොදී) දොස්තර දෙන අවවාද හොඳ ඇති... ඔය අවවාද පිළිපදින්න නම් මට සල්ලි ටිකක් ඕනෙ වෙනව මං හිතන්නෙ. මට සල්ලි ටිකක් දෙන්න මාමා අකමැති වෙන එකක් නෑ ...
රෝගියා :          ම්හ..ඒ වැඩේ නම් හරියන්නෙ නෑ පුතේ. සල්ලි නම් මං කොහොමටවත් දෙන්නෙ නෑ.
තරුණයා:   ඔහොම තත්වයක්  තියේවි කියල මට නිකමට හිතුණ. සල්ලි ටිකක් හම්බකරන්න මට සෑහෙන දුකක් විඳින්න වෙයි වගේ. මගේ හිතේ කුතුහලයක් ඇති වෙච්ච කාරණයක්  ගැන මාමගෙන් දැනගන්න කැමතියි. ... පසු කාලෙක වත් මාමගේ බූදලය මට ලැබෙන පිළිවෙලක් තියෙනවද ? මාමගේ  අන්තිම කැමතිපතර්‍ මා වෙනුවෙන් ....
රෝගියා :        (සම්පූර්ණ කිරීමට ඉඩ නොදී) එපා.. ඔය වගේ දේවල් ඔලුවට අරගෙන හිත අවුල් කර ගන්නේ මොකටද?
තරුණයා: මට ඒක කියන්න මාමෙ.. මං ඒක දැනගන්න කොච්චර උන්නදු ද කියල මාමට හිතා ගන්නවත් බෑ.
රෝගියා :         පුතාට ඒක දැනගන්නම ඕනෙ නම් කියන්නම්. මං මගේ බූදලය සම්පූර්ණයෙන්ම ලිව්වා මගේ හිතමිත්‍ර තිරික්කල් දොස්තරගේ නමට.   මිනිහා අවංකව ජීවත්වෙන, පරණතාලේ බොහොම හිතහොඳ මනුස්සයා.  එයාගෙ ප්‍රතිකාර ක්‍රම වලින් මට කොයිතරම් සැනසීමක් ලබනවද කියල ඔයාට හිතාගන්නවත් බෑ. මගේ වැඩකටයුතු ගැන බලන්න මිසී කෙනෙක් එව්වෙත් එයා තමයි.
තරුණයා:    ඒකත් එහෙමද? ඔය වගේ කතන්දරයක් සමහරවිට අහන්න වේවි කියල මට හිතුණා. ඔය ප්‍රශ්ණය ආවොත් ඒකට මූණ දෙන්න ඕනෙ කොහොමද කියන එක ගැනත් මගෙ සැලසුමක් තියෙනවා. එහෙම සූදානමින් ආපු එක ලොකු වාසනාවක් .. (නැගිටිමින්) කෝ මට ටිකක් ඉඩ දෙන්න..
(තරුණයා රෝගියා වෙත නැඹුරු වී කොට්ටය ගෙන රෝගියාගේ මුහුණ මත තබා තද කර හුස්ම හිර කරයි. රෝගියා දෙපා ටික වෙලාවක් සොලවා මියගොස් නිසලවෙයි. මිය ගිය රෝගියාගේ ඇඳුම් ගලවා ඒවායින් වහා සැරසුනු තරුණයා මිනිය සහ තම ඇඳුම් ඇඳ යටට තල්ලු කර රෝගියාගේ ඇඳේ හාන්සි වී පොරෝණය දමාගනී. දත් කුට්ටමද ගලවා ලේන්සුවක ඔතා කොට්ටය යටින් තබයි. .)
තරුණයා:   (ලොඹු කටින් මාමා අනුකරණය කරමින්) මිසී! මිසී!
හෙදිය:       (දිව එමින්) ඇයි කතා කලේ? (කාමරය වටා බලා ) කෝ ඔයාගෙ අර වැඩකට නැති ඥාති පුතා.
තරුණයා:  වත්ත පහළ ටිකක් ඇවිදලා එන්න කියලා ගියා...එයා වැඩකට නැති මිනිහෙක් කියල කියන්න එපා.. මං එයා ගැන සම්පූර්ණයෙන් වැරදි විදියට නෙ හිතාගෙන ඉඳල තියෙන්නෙ. මං තීරණය කළා මගේ අන්තිම කැමති පත්‍රය වෙනස් කරන්න. වහාම පණිවිඩයක් යවන්න මගේ නීතීඥ මහත්තයට පුළුවන් තරම් ඉක්මනට මෙහෙට එන්න කියල.
හෙදිය:        (පුදුම වෙමින්) ඇයි...ඔයා කොහොමද එකපාරටම මේ විදිහට වෙනස් වුණේ?
තරුණයා:   වෙනස් වුණේ?... මගේ කිසිම වෙනසක් වුණේ නෑ මිසී. මං මගේ අවසානයට ඉක්මනින් ළඟාවෙන බව මට තේරෙනවා. ඒ ඇරෙන්න මගේ වෙනසක් නෑ.  ඉතින් යන්න...
හෙදිය:        හරි දැන්ම යනවා...
(හෙදිය වහා නික්ම යයි)
තරුණයා:   (තමාටම) මං එයාට කියනවා මට අලුත් අන්තිම කැමති පත්‍රයක් ඕනෙ කියල. එයාට ලියාගන්න කියල මට පුළුවනි කියවන්න අන්තිමේදි නීතිඥයා ඉදිරියේදීම අත්සන් කරනවා මාම අත්සන් කරන විදියට වෙවුළන අතෙන්.. ඊට පස්සෙ මට ටිකක් නිදහසේ නිදාගන්න ඉඩාරින්න කියල දොර වහල දාල යන්න කියනව. ඊට පස්සෙ මට පුළුවනි ඇඳුම් ටික ආපහු මාරු කරගෙන මගේ අසරණ මාමාව ඇඳ උඩින් තියල දත් කුට්ටමත් දමාගෙන ජනේලෙන් පැනල ගිහින් වත්තෙ ටිකක් ඇවිදලා ගෙදර ඉස්සරහ දොරගාවට ආයෙත් එන්න. මගේ අසරණ මාමා නින්දේදීම සාමකාමීව අවසන් හුස්ම හෙළල කියල මිසීගෙන් දැනගත්තම මට පුළුවනි බාල්දි ගණනක් පිරෙන්න කඳුළු පෙරන්න..
(කළු බෑගයක් අතින් ගත් හැඩි දැඩි තරමක් වයස්ගත් පුද්ගලයෙක්  හෙදිය සමග කාමරයට ඇතුල් වේ.)
තරුණයා:   ඔබ ඉක්මනින් ආපු එක ගැන මට හුඟක් සන්තෝෂයි... මං හිතුවා මගේ අන්තිම කැමති පත්‍රය වෙනස් කරන්න. මං කැමතියි මට අයිති හැම දෙයක්ම මගේ මරණයෙන් පස්සේ මගේ ඥාති පුත්‍රයාට අයිති වෙනවට....
වෛද්‍යවරයා: මගේ හිතවත් මිත්‍රයා....ඔබට තිබුණු අසනීපය දැන් මොළයටත් පැතිරිලා...ඒ ගැන මට හරි කණගාටුයි.. කවුද හිතුවෙ මගේ මෙතරම් හිතවත් මිත්‍රයාට මාව අඳුනාගන්න බැරිවේවි කියල. මාව නීතිඥයා කියල වරදවා වටහා ගන්න තරමට ඔබේ මොළය නරක්වෙලා වගෙයි. වෙන කරන්න දෙයක් නෑ වහාම ඔබව සෝදිසි කර බලන්න වෙනවා... (වහා ඇඳ අසලට ගොස් තරුණයා ගේ බඩ මතින් පොරෝණය ඉවත්කොට තැන් තැන් ඔබමින් තට්ටු කරමින් පරීක්ෂා කරයි, දෑස් ලොකු කොටගත් තරුණයා කිසිත් නොකියා කෙඳිරිගායි) මං හිතුව හරි . ඔහේගෙ ශරීරයේ මෙන්න මේ හරියෙ මොකක් හරි ලොකු වැරැද්දක් තියෙනවා, ඔය මොළේ අමාරුව හොඳවෙලා ආයෙ යථා තත්වයට එන්න නම් ම වහාම ප්‍රතිකාර කළ යුතුයි (එකවරම තරුණයාගේ සිරුර මුහුණ යට අතට සිටින සේ පෙරළයි, තම කළුබෑගයෙන් වහාම දිග ඉදිකටුවක් සවිකළ විශාල සිරින්ජයක් ගෙන එය සෝදිසි කරමින්) වාසනාවකට වගේ... කොහේ ගියත් මම යන්නෙ ඕනෑම හදිස්සි අවස්ථාවකට සූදානමෙන්...
තරුණයා:  මට කිසි අසනීපයක් නෑ..(කළබල කලොත් තමා අමාරුවේ වැටීමට ඉඩ ඇති බව අවබෝධ කරගත් බවක් පෙන්වයි.)
වෛද්‍යවරයා: (තරුණයාගේ කොඳුනාරටියට බෙහෙත විදියි.)  දැනෙනවා නේද සීතල අයිස් වගේ බෙහෙත් ටික කොඳු නාරටිය දිගේ ගලා ගෙන යන හැටි... තව තත්පර තිහකින් බෙල්ලෙන් පහළ මුළු ශරීරයම අප්‍රාණික වෙයි. නමුත් මොළේ වැඩ , ඇස් කන් වැඩ ...ඔක්කොම පේනව ඇහෙනව..(තරුණයා නැවත උඩුබැලිව පෙරලයි)  හැබැයි ඇඟ සම්පූර්ණයෙන් හිරිවැටිලා. මම නම් ආදි කාලේ වෛද්‍ය ශාස්ත්‍රය උගත් , පරණ තාලෙ වෛද්‍යවරයෙක්.. ඒකනෙ මට තිරික්කල් දොස්තර කියන්නෙ... ඒ වුණත් වෛද්‍ය විද්‍යාවේ කෙරෙන නවතම සොයාගැනීම් , අළුත් ශල්‍ය කර්ම විධි, ප්‍රතිකාර විධි සහ ඖෂධ ආදී හැම දෙයක්ම මම අධ්‍යනය කරනවා. ඒ නිසා මේව මට අළුත් දේවල් නෙමේ...මොළේ අමාරු ඇතිවෙන්න ප්‍රධානය හේතුවක් තමයි උදර කුහරයේ - ඒ කියන්නෙ බඩේ අසනීප තිබීම. කොහොම වුණත් මොළේ නරක් වුණා කියල පැහැදිලියි...ඒ ගැන සැකයක් නෑ...එහෙම නැත්තන් තමන්ගෙ මුළු බූදලේම අර හොර තක්කඩි කොල්ලට ලියන්න හදාවියැ.. (හෙදියට) ඔයා නීතිඥයට කරදර නොකර මට දැනුම් දුන්නෙ හොඳ වෙලාවට...ඔයා හොඳ බුද්ධිමත් කෙල්ලක් (හෙදියගේ ලස්සන බලමින්) මේ කටයුතු හැම දෙයක්ම ඉවර වුණාට පස්සෙ අපි දෙන්නා යමු කොහේ හරි හොඳ විනෝද සවාරියක්... ඔය ශල්‍ය උපකරණ ඔක්කොම මෙහාට ගන්න ... මහත්තයගෙ අර ඥාති පුත්තරයා  මෙතන නොහිටිය එක මොනතරම් කණගාටුවට කරුණක්ද? ලෙඩෙකුට ශල්‍යකර්මයක් කරන්න කලින් ළඟම ඥාතියාගෙන් අවසර ගැනීම තමයි නියම පිළිවෙල.... මේ අහන්න , වැරැද්ද තියෙන්නෙ කොහෙද කියල හොයාගන්න තුරු ඉන්ද්‍රියන් එකින් එක එළියට අරන් බලන්න ඕනෙ ........ එහෙනම් පටන් ගමු...
(වෛද්‍යවරයා තරුණයාගේ උදරය මත කැපුම් තලය තබා පහලට අදී .... තරුණයාගේ උගුර යටින් නැගෙන විශාල කෙඳිරියකින් වේදිකාව පිරී යයි)
------- ----------

Arthur Arambepola

unread,
Dec 5, 2023, 8:26:55 PM12/5/23
to ind...@googlegroups.com
මාළු කඩේ රූමතිය .. නම් රසවත් කථාවක්.

නමුත් යම් යම් දේවල් කෙළින්ම කියන්න ගිහින් කථාවේ වටිනාකම අඩු වෙලා කියලයි හිතෙන්නෙ.

"එහෙම තමයි පිරිමි. ගෑනු අපි එයාලගේ හැම ගඳ සුවඳක් ම උහුලා ගත්තට එයාලා උහුලා ගන්නේ නැහැ. පිරිමි එහෙම තමයි . විශේෂයෙන්ම එයාලට කේන්ති ගියාම ඒ වගේ වචන වලින් අපිට දමලා ගහනවා."
"පිරිමි වදන් වලින් පහර දෙන්නේ ගැහැනියකට ඇති ආදරය අඩු වූ විටලු. එහෙත් ගැහැනිය එසේ කරන්නේ තමන්ගේ මිනිහා කෙරෙහි ඊර්ෂ්‍යාවක් ඇති වුණු විටදීලු. අකිල ගොනා එසේ කීවා මතකය."

මේ දෙකම අනවශ්‍ය බවයි මට හැෙඟන්නෙ. මේ අදහස් කථාව තුලින්ම මතුවිය යුතුයි. කියවන පුද්ගලයා කථාව කියවීම තුලින්ම මේ බව තේරුම් ගත යුතුයි. ඇඟිල්ලෙන් ඇනලා කියන්න ගියාම කථාව වාක්‍ය රචනයක් බවට පත්වෙනවා.

නවකථා වල නම් විස්තරකිරීම්, විශ්ලේෂන, අඩංගු කිරීම සුදුසු බවයි මගේ මතය.

Nissanka Rajapaksa

unread,
Dec 6, 2023, 5:05:05 PM12/6/23
to INDRAKA group
36
කලහය

ජී බී සේනානායක 

(දුප්පතුන් නැති ලෝකය කෙටිකතා සංග්‍රහයෙන්)


Nissanka Rajapaksa

unread,
Dec 7, 2023, 4:54:36 PM12/7/23
to INDRAKA group
37
තවත් එක්  සැමියෙකුගේ කතාවක් ...
- මංජුල සේනාරත්න 

මේ ගෙවෙන්නේ ශීත කාලයයි. උණුසුම් කැදැල්ලේ  සෙනෙහසින් මත්ව, රස අහරින් සිරුර සතපවා ගෙන සති අන්තයක් ගත කිරීමේ අභිප්‍රායෙන්, ගිය සිකුරාදා සවස් යාමයේ රැකියාවෙන් පසුව  නිවසට ඇතුල් වන මගේ හදවත සිමෙන්ති පොළොවට කඩා වැටුණි. හදිසි ඇද වැටීමෙන් කඩතොළු වුවද, එයට වෙදකම් කරන්නට  උත්සාහ නොකළ මම අනතුරට හේතු වුණු කුඩා කඩදාසි කැබැල්ල යළිත් වරක් කියවීමි. 

"මම ළමයි දෙන්නත් එක්ක අම්මලාගේ ගෙදර යනවා. ඔයාගේ බලු වැඩේ අතටම අහුවුණා. ආයේ මට කතා කරන්න එපා."

ඔබේ බිරිඳ ඔබේ බලු වැඩක් අතට හසු වීම හේතුවෙන් දරුවන් දෙදෙනා සමග නිවසින් ගොස් සිටීනම් නම්, තමන්ට කතා නොකරන මෙන්  ඉල්ලා සිටින්නේ නම් ඔබ මුලින්ම කරන්නේ ඇය නිවස අතහැර යන්නට තරම් කෝපයට පත් වුණු තමන්ගේ බලු වැඩේ කුමක්ද කියා සිතා බැලීමයි.  ඇතැම් විටක සැමියෙක් වූ විට  ඔබ බලු වැඩ රාශියකට අත ගසා තිබෙන්නට පුළුවන. වැදගත් වන්නේ ඇගේ පිටව යාමට හේතු වුණු  වුණු  බලු වැඩේ ඒ අතරින් සොයා ගැනීමයි. 
කොරිඩෝව කෙළවර කුඩා ගබඩා කාමරයේ මා අටවා ගෙන ඇති මේසය මත ඇති පරිගණකය වෙත දිව ගියෙමි. එය දැල්වී තිබේ. එහි තිරය මත දිස්වන රූප දුටු විට මගේ සිරුර දැවෙන්නට විය. නිරූපා පරිගණකය ක්‍රියාත්මක කළේ කෙසේද..? එහි ඇතුලු වීමේ රහස් අංකය ඇයට සොයා දුන්නේ කව්ද..? පරිගණක තාක්ෂණය ගැන මනා අවබෝධයක් ඇති මගේ 12 හැවිරිදි ලොකු කොලුවා ඇයට පරිගණකය ක්‍රියාත්මක කර දුන්නේද..? නැත. සියල්ලටම වගකිව යුත්තා මාය. ඊයේ රාත්‍රියේ නින්දට යද්දී පරිගණකය නිවා දැමීමට අමතක වීම අභාග්‍යයේ මුලයි. මගේ වල කපා ගෙන ඇත්තේ මා විසින්මය. මාස කීපයක්ම තිස්සේ මා යෙදුණු අපරාධයේ සියලු දත්ත දැන්  මගේ බිරිඳ ට හසුවී තිබේ. එය වනාහි කිසිදු සැමියෙක් විසින් බිරිඳට නොකරන තරමේ අපරාධයකි. 

පැරිස් නගරයෙන් කිලෝ මීටර කීපයක් පිටත ගිය තැන හමුවන MELUN  නැමති ප්‍රදේශයේ මනරම්  නිවසක නිරූපාගේ දෙමාපියෝ වාසය කරති. මගේ මුල්ම සිතුවිල්ල වූයේ එහි යාමයි. එහෙත් ඊට පෙර මාමන්ඩියට කතා කළ යුතු යැයි සිතුණි .
"අංකල් ..?"
"ආ..මොකද මේ වෙන්නේ..? මොකෝ නිරූපා ළමයි දෙන්නත් එක්ක මෙහේ ආවේ..? අන්න උඩ  කාමරයට වෙලා අඬනවා ..මොකෝ වුණේ ..?"
"පොඩි අවුලක් අංකල් දන්නේ නැද්ද.."
"නැහැ දන්නේ නැහැ..ඔයාට වෙන සම්බන්ධයක් තියනවද..?"
"අනේ නැහැ අංකල් ..අම්මා පල්ල එහෙම එකක් නැහැ..."
"ඔයාලගේ අම්මා මැරිලා නේ..."
"ආ ඔව්.. ඇන්ටි පල්ල හොර සම්බන්ධයක් නැහැ.."
"ඇන්ටිපල්ල ...? ආ එහෙම නම් තමුසේ කියන්නේ බොරුවක් වුණත් කමක් නැහැ.. කොහොම හරි දැන් කතා කරන්න එපා. මට  මොනවත් කිව්වේ නැහැ. ඇන්ටි එක්ක කිව්වද කියලා දන්නේ නැහැ.  ගෑනු ප්‍රශ්නයක් නෙමෙයි නම් මහා ලොකු දෙයක් වෙන්න බැහැනේ.. හෙට දිහාට ඇවිත් එක්කගෙන යනවා. අර ළමයි දෙන්නත් හොල්මන් වෙලා ඉන්නේ.. "
"හරි අංකල් ..සොරි අංකල් .."

බිරිඳ නැති නිවස කඩදාසි හිඟ කම නිසා වසා දැමූ මුද්‍රණාලයක් වැනිය. මුද්‍රණය සදහා නියමිත පොත්, කැලැන්ඩර, අත් පත්‍රිකා, මරණ දැන්වීම් සියල්ල ගොඩ ගැසී ඇතත් සියල්ල ඉටු කර ගැනීම සදහා වුවමනා වන මූලික අමුද්‍රව්‍යය නැත. කොයි තරම් කේන්ති ගත්තත්, ආපසු නොඑන්නට හෝ වේවා නිවසින් පිටව යද්දී සැමියාට කෑම පිස තබා යන කුල කතුන් ගැන මම අසා ඇති නිසා, මගේ බිරිඳත් එවැන්නියක් විය හැකි හෙයින් ශීතකරණය විවර කළෙමි. කිසිවක් නැත. නිරුපා යන්නට ගොස් ඇත්තේ දුක, සන්තාපය පමණක් නොව කුසගින්නද මා හට උරුම  කර දෙමිනි. මෙවැනි අවස්ථාවක මගේ දුක කියන්නට සිටින එකම මනුසතා අකිල ගොනා පමණක් හෙයින් ඔහු ඇමතුවෙමි.
"මචං අකිල.." මගේ හඬ හැඟුම්බරය. හැඬුම්බරය. වෙව්ලයි. විශේෂයෙන්ම මධුවිත ඉල්ලා සිටින සුළුය .
"මහේල මොකෝ කරදරයක්ද..?"
"ඔව් . මචං . නිරූපා ගියා මචං . මාත් එක්ක තරහ වෙලා ළමයි දෙන්නත් එක්කම...." කියන්නට ලැබුණේ එපමණකි. දුරකතනය විසන්ධි විය. එයින් අදහස් වන්නේ මගේ මිතුරා මා සොයා පැමිණෙන බවයි. මෙවැනි බරපතළ, ගැටුම් සහගත අවස්ථාවකට මුහුණ දීම වෙනුවෙන් ඔහු හොඳ සූදානමකින් පැමිණෙන බවද මම දැන සිටියෙමි. මගේ සිතුවිල්ල  නිවැරදි  කරමින් අකිල පැමිණියේ සින්ගල් මෝල්ට් විස්කි බෝතලයක් සහ කටගැස්ම රාශියක්ද සමගය.
"මම උඹට නොකියන දෙයක් නැහැනේ.. එහෙම වෙන සම්බන්ධයක් මට නැහැ.."
"යකෝ ගෑනියෙක් එහෙම නිකමට ගෙදරින් යන්නේ නැහැ. උඹට මතකද කින්ද කුත්තර ජාතකේ එන පියුමාලි නමැති සිටුකුමරියගේ කතාව..? සිටු මැඳුරට අනෙක් පැත්තේ තිබ්බා කම්මලක්..."
"මට ඔය බහුබූත වැඩක් නැහැ බං .."
"හරි මට කියපං කෝ මොකද වුණේ කියලා.. " මම හරිබරි ගැසී වාඩිවුනෙමි. වීදුරුව කටට හලා ගෙන මස් කෑල්ලකින් කට ගස්සා ගතිමි. කතාව මෙසේ කියන්නට පටන් ගතිමි. 
ඇත්තම කියන්නේ නම් මේ  කරදර සියල්ලටම හේතු වූයේ මුහුණු පොත යැයි කීම නිවැරදිය. 

අදින් වසර පහළොවකට පෙර පැරිසියේ නාදුනන සොල්දාදුවාගේ ස්මාරකය අසළදී නිරූපා මුල් වරට මට හමුවිය. නුපුරුදු ඇය දුටු පළමු දිනේදීම සුපුරුදු ලෙස හැඟුන නිසා අපි ඉක්මනින් හඳුනා ගතිමු . පිටු තුන්සියයක්  පමණ ලියා තැබිය හැකි මාස හයක සොඳුරු මතක තනි වැකියකට සංස්කරණය කරන්නේ නම් ලියන්නට  ඇත්තේ  "හය මසකට පසුව අපේ විවාහය සිදුවිය" යනුවෙනි.

නිරූපා ගේ දෙමාපියෝ අපේ පැවැත්ම සුවසේ තබා ගත හැකි වන්නට සියළු දේ සකස් කර දුන්හ. ඇය පවුලේ එකම දරුවාය. විශේෂයෙන් මගේ මාමා සීමාවන් ඉක්මවා නොයමින් මගේ මිතුරෙක් බවට පත්වුණු බව කිව යුතුය. අපි දෙදෙනාම යහමින් වැටුප් උපයා ගන්නා රැකියාවල නිරත වීමු. ඉඩකඩ ඇති නිවසක් , විශාල මිතුරු සමාගමයක් සමගින් දරුවන් ද එක්  වුණු විට එය වනාහි පරිපූර්ණ ජීවිතයක් බවට පත් විය. 

තමාගේ  කුඩා කළ සිහිනය වූයේ ගායිකාව වීම බව නිරූපා කීපවාරයක්ම මට කී අයුරු මතකය. පුංචි කාලේ දකින  සිහින බොහොමයක් සැබෑ කර ගන්නට අපට හැකි වන්නේ නැත. පොඩි කාලේ මගේ සිහිනය වූයේ අජටාකාශගාමියෙකු වී අභ්‍යවකාශය තරණය කිරීමයි. අජටාකාශය කෙසේ වෙතත් ප්‍රංශයට පැමිණීමට හැකිවීම ගැන මම සතුටු වුනෙමි. නිරූපා  නිතර ගී මිමිණුවාය. උයන විට, නිවස පිරිසිදුකරන විට, ඇඳුම් මදින විට, විශේෂයෙන් ස්නානය කරන විට ඇය ගී ගැයුවාය. ඇය ඉහළ ස්වර අල්ලන්නට ඉනිමං තබන ඇතැම් විටක පාදයකට වංගෙඩිය වැටී හෝ ඇගිල්ලක් පිහියට කැපී ඇය ලතෝනි දෙන්නේ යැයි කියා බියට පත්ව කුස්සියට දිව ගියෙමි. ඇය ගීතයක් ගයමින්  සිටින බව දැක බිය පලවා හැරියෙමි.
මගේ බිරිඳගේ ගායන හැකියාවන්ගේ විශේෂත්වය වන්නේ ශ්‍රුතියෙන්  පිට ගායනා කිරීමට ඇයට ඇති සහජ හැකියාවයි. ඒ ප්‍රතිභාව කාලයාගේ ඇවෑමෙන් දියුණු කර ගන්නා ඇය රිද්මය, තාලය වැනි දේ සත පහකට මායිම් නොකර ගීත ගැයීමට තරම් ඉහළ තලයකට පැමිණියාය. "නිරූපා අක්කේ සිංදුවක් කියන්නකෝ .." යනුවෙන් මිතුරු වෙසින් ඉන්නා මගේ හතුරෝ ඉල්ලා සිටි විට ඇය මයික්‍රපෝනය අතට ගනියි. එවැනි අවස්ථාවක ඇගේ ගීත මා අසා  සිටියේ කස කසා ඇටයක් දත් දෙකකින් අල්ලා හපන්නට ගන්නා උත්සාහකදී ඇතිවන කෝපයකිනි. 

එක් සෙනසුරාදා රාත්‍රි්යක ආහාරයෙන් පසුව සාලයේ සැප සැටියේ වාඩිගෙන මගේ උරහිසට හිස තබා සිටින මොහොතේ " බඹරු නොදුටු මලක් පිපිලා ගේ මැද සාලේ .." නම් ගීතය නිරූපා ගැයුවාය. සත්තකින්ම මට ඒ මොහොතේ වුවමනා වූයේ  කන වටේ කැරකෙන මදුරුවෙකු ගේ රුධිර විලාපය වැනි වූ ඇගේ කෙඳිරිල්ල නවතා කුසට ගත් ආහාරය දිරවා ගැනීම පහසු කර ගැනීමටයි. එහෙත් මගේ මුවින් පිටවුණේ වැරදි වදන් වැලකි.
"ඇයි ඔයා ඔයාගේ ගායන හැකියාව වැඩි දියුණු කර ගන්න උත්සාහ කරන්නේ නැත්තේ...?" ඇය හිස ඔසවා බැලුවාය. ඒ මොහොතේ ඇගේ මුහුණේ පැතිර ගොස් තිබුණේ මුළු පැරිස් අහසම ආලෝකමත් කළ හැකි දීප්තියකි.
"ඔයා ඇත්තටමද කියන්නේ...එහෙනම් මම සිංදුවක් රැකෝඩ් කරළා ෆේස් බුක් එකේ දාන්නද..?" කාපු බීපු වේලාවට කියන දේවල් ගණන් ගන්න එපා යැයි කියන්නට තරම් ධෛර්යක් ඒ මොහොතේ මට තිබුණේ නැත. මම හිස වැනුවෙමි . 
එතැන් පටන් සෑම සතියකම මගේ බිරිඳ ගීත ගයා පටිගත කර මුහුණු පොතට එක් කරන්නට පුරුදු වුවාය. 

ඒ සඳහා වුවමනා වන karaoke කට්ටලයක් ඇය මිලදී ගත්තාය. ඇඳුම් පැළදුම් පමණක් නොව හැඩ වෙන්නට රූපාලවන්‍ය පවා ගෙන ආවාය. මුල් අවදියේදී ඇගේ සිංදු ඇසූ , බැලූ කෙනෙක් නොවිණ .  එහෙත් මාසයක් ගත වෙද්දී සිතාගත නොහැකි අයුරින් ලයික් , හාර්ට් වැටෙන්නටත් , කොමෙන්ටු සිය ගණනින් ලියවෙන්නටත් වූ විට මම පුදුමයට පත් වුනෙමි. මම සිංහල ගී අසමි. ප්‍රිය කරමි. මගේ බිරිඳට ගීත කියන්නට නොහැකි බව වටහා ගන්නට විශාරද උපාධියක් වුවමනා නොවේ. මා දකින ඇගේ විහැකියාව අනෙකුන් නොදකින්නේ ඇයි ..? හැමෝම ඇයට හොඳ කියන්නේ ඇගේ සිත රිදවන්නට අකමැති නිසාද..? ඇය මිතුරියක් නිසාද..? ඇය කාගේත් හිත දිනා ගත් , හැමෝටම උදව් කරන ප්‍රසන්න රූපයකින් හෙබි තැනැත්තියක් නිසාද..? ගායනයේ අදක්ෂ අයෙක්ව මෙසේ අගය කිරීම ඒ තැනැත්තාව "ඇන්දවීමක් " නොවේද..? ලෝකයා විසින් තමාව අන්දවා ඇති බව , තමාව මුලා කර ඇති බව මගේ බිරිඳ වටහා නොගන්නේ ඇයි ..? 
"ඔයාට සින්දු කියන්න බැහැ නිරූපා .. මුන් ඔක්කොම ඔයාව අන්දවනවා.."මගේ ප්‍රාණය වැනි මගේ බිරිඳට එසේ කියන්නේ කෙසේද..? 
මගේ බිරිඳ හෝ මොකා හෝ වේවා මුළින්ම   තමන්ට කළ හැක්කේ කුමක්ද තමන්ට කළ නොහැක්කේ කුමක්ද යන්න හඳුනා ගත යුතුය. තමන්ගේ හැකියාවන්ගේ මුල්ම විනිශ්චය කරුවා තමා විය යුතු නොවේද..? 
එහෙත් සියල්ල වෙනස් විය. පළමු ගායනයෙන් තුන් මසක් ගතවෙද්දී ප්‍රථම නරක කොමෙන්ටුව පළ විය. "ඔයාගේ සිංදුව අහලා අපේ ආච්චිට පාචනය හැදුනා. දවස් දෙකක් තිස්සේ. දැන් විජලනය.." එය "වවුලෙක් වැනි පූසා" නමින්  Fake ගිණුමකින් වැටුණු කොමෙන්ටුවකි. මගේ හිතේ සතුටක් ඇතිවුණු බව සැබෑය. ෆේක් වුණත් යම් අයෙකුට නිරූපා ගේ සිංදුවල සැබෑ යතාර්ථය පැහැදිළිව තිබේ. "ගණන් ගන්න එපා . කවුරු හරි ඉරිසියා කාරයෙක්". මම කීමි. 
- අක්කා ලස්සනයි. සින්දු නම් අන්තිමයි..
- ඔයාගේ මිනිහා වත් කියන්නේ නැද්ද ඔයාට සින්දු කියන්න බැහැයි කියලා..
අක්කේ මගේ ටීම් එකට එන්න බැරිද..අපි සිකුරාදා ට මීයෝ මරන්න යනවා... මේ ආදී වශයෙන් වැටුණු කොමෙන්ටු ගණනින් දහය පහළොව වෙද්දී නිරූපා හඬන්නට වූවාය. "වවුලෙක් වැනි පූසාට" අමතරව , "රම්පට තෙලම්බුව මැණිකේ", "නොන්ඩි ගසන පෙන්ගුවින්" වැනි Fake ගිණුම් එකතුව තිබුණි.

"අපි දැක්කා බං ඔය කොමෙන්ට් ඔක්කොම. මමයි නාලිකා යි කතා වුණා කව්ද මේ පාහරයා කියලා.."  අකිල කිවේය. "දැන් නිරූපා සති දෙකකින් සිංදු දැම්මේ නැත්තේ ඔය කේස් එක හින්දද..?"
"ඔව්..අකිල උඹ මගේ යාළුවා. ඇත්ත කියපං. නිරූපට සිංදු කියන්න බැහැ නේද..? "
"අද කාලේ බැරි එවුන් තමයි බං හුඟක් දේවල් කරන්නේ.. ඕක ඔය තරම් ගණන් ගන්න දෙයක් නැහැනේ...ඒක නෙමෙයි ඇයි දැන් නිරූපා ළමයි දෙන්නත් එක්ක යන්න ගියේ..?"
"දැන් තමයි මචං මම නොකිව්ව කතාව තියෙන්නේ...කාටවත් කියලා නැහැ. කියන්න බැහැ මචං. මට ම ලැජ්ජයි.."
"කියපං ඉතිං අඬන්නේ නැතුව.."
"ඔය කියන FAKE වලින් ඇවිත් කොමෙන්ට් ලිව්වේ මම .."
"මොකක්..?"
"ඔව් බං ..මට කෙළින් කියන්න කොන්දක් තිබ්බේ නැහැ .. ඒකයි මචං මම ඒ වගේ බලු වැඩක් කෙරුවේ..ඒක අද දවල් නිරූපට අහුවුණා.  ඒකයි එයා ගියේ"
"උඹ ට කියන්න වචන නැහැ මහේල.. තරහා වුණත් කමක් නැහැ.. උඹ මහ බල්ලෙක්.. යකෝ තමන්ගේ ගෑනි ගේ  සිංදු වලට FAKE වලින් ඇවිත් කොමෙන්ට් දාන උඹට කොන්දක් නැද්ද...?"

"මගේ ගෑනි සමාජය ඉස්සරහා ලජ්ජා වෙනවා දකින්න මම කැමති වුණේ නැහැ මචං. ඒක මට එයාට කියා ගන්න ගටක් තිබුණේ නැහැ..."
"ඇත්ත දේ මොකක්ද දන්නවද.. මුල් කාලේ නිරූපා සින්දු කිව්වා අජූතයි. ඒත් මෑතක ඉදන් හොඳට කියනවා. ඒ ගෑනි සිංදු කිව්වේ හිතේ සතුටට බං. අපේ ගෑනු මොනවද  හිතේ සතුටට කියලා කරන්නේ. අපි බොනවා. කනවා. මැච් බලනවා. සෙට් වෙනවා. ට්‍රිප් යනවා. අපේ ගෑනු අපි එනකං බලා ඉන්නවා. ගෙදර ඇවිත් ඇඟ හොදා ගත්තට පස්සේ හොඳට හෝදලා සුවඳ ගහන තුවායක් දෙනවා ඇඟ පිහ දා ගන්න.. ඒ තමයි අපේ ගෑනු . උඹේ ප්‍රශ්නේ මොකක්ද දන්නවද මහේල..උඹ බය වුණා උඹේ ගෑනි උඹට වඩා කැපිලා පෙනෙයි කියලා. උඹේ ගෑනි ගැන අනෙක් මිනිස්සු හොඳ කියන කොට උඹට ඉරිසියා හිතුනා. උඹට හිතුනා ගෑනි නැති වෙයි කියලා..මම හිතුවා උඹ මොලේ තියන මිනිහෙක් කියලා.."
"උඹ ඔය කොහෙද යන්නේ..?"
"මම යනවා.. මට හැමෝම කියන්නේ අකිල ගොනා කියලා. ඒත් මට තියන ගොං මොලෙන් අංශුවක් නැහැ උඹට..."
පසුදා සෙනසුරාදා උදේම වාහනයට නැග  ගත් මම මාමණ්ඩියගේ නිවස බලා ගියෙමි. පාන්දර අවදි වී යෝග ව්‍යායාම කර, පිටත බැස  ආධෝවාත වලින් මල් ගස් නහවමින් වත්ත පුරා ඇවිදින මාමා අපහසුවෙන් සිට ගෙන මදෙස බලා සිටින්නට විය.
"ආ.. බොන්ෂූ ..මොකෝ උදෙන්ම.. ?"
"නිරූපාව එක්ක යන්න කියලා අංකල් .."
"හා.. මොකද වුණේ කියලා නම් කිව්වේ නැහැ. ඇන්ටිත් දන්න සෙල්ලම් දැම්මා අහගන්න.. කිව්වේ නැහැ.. එක අතකට මොකද ගෙදර ගිනි පිටට දෙන්නේ.. ගිහින් කතා කරනවා.. "
තරුණ විය තෙක්ම රැය  ගත කළ කාමරයේ යහන මත නිරූපා වාඩිගෙන සිටියාය. මා කාමරයට ඇතුළු වනු දුටුවද ඇය කිසිවක් කීවේ නැත. මම ඇය අසළින් යහනේ වාඩි ගතිමි . විනාඩි කීපයක් යනතුරුම අපට ඇසුණේ අපේ සුසුම් හඬ පමණි. අන්තිමේදී ඇය මදෙස බැලුවාය .
"මගේ සිංදු හොඳ නැතිනම් කියන්න තිබුණා මහේල.."
"මට ඒකට හයියක් තිබුණේ නැහැ.."
"තමන් එක්ක එක ඇඳේ ඉන්න මිනිහා, පුටුවේ වාඩිවෙලා ඉන්න මිනිහා, වැඩට යන්න කළින් කිස් එකක් දෙන මිනිහා එක වේලාවකදී තමන්ට අපහාස වෙන දේවල් ලිව්වා කියලා දැන ගත්තම ලොකු දුකක් ඇති වෙනවා මහේල.. ජීවිතේම එපා වෙනවා.. "
"මට සමාවෙන්න නිරූ .."
"අපි දන්නේ නැහැ අපි ආශ්‍රය කරන්නේ කවුරු වගේ මිනිස්සුද කියලා... කොයි තරම් ආදරයක්, සෙනෙහසක් දුන්නත් ඒ මිනිහා අපිට විරුද්ධව නැගිටිනවා කියලා අපි දන්නේ නැහැ.. ඒත් ජිවිත කඩා ගන්න බැහැනේ.. තව ලොකු ගමනක් අපිට යන්න තියනවා.. හැමෝගෙම තියනවා වැරදි. ඔයා හොඳ මිනිහෙක්. හැබැයි නරුම මුස්පේන්තු ගතිත් තියනවා. මට ඔයාගේ හොඳ ටික විතරක් දෙන්න . ඒ ඇති .."
"ආයේ කවදාවත් ඒ වගේ දේවල් කරන්නේ නැහැ නිරූ ..යමු ගෙදර... " ඇය මදෙස බලා සිටියාය. දෙතොලේ ඇතිවුණු සිනහව උපහාසයට නැගුනු එකක් බව පැහැදිළිය . 
"වවුලෙක් වැනි පූසා.. කොහෙන්ද ඔය නම හොයා ගත්තේ..?" මම කිසිවක් නොකිමි. 
"අම්මා ඉදියප්ප හැදුවා. මම කිව්වා ඔයා එයි කියලා. මම ඇඳගෙන එන්නම්...පුතයි දුවයි පල්ලෙහා.." මගේ බිරිඳව දැඩිව වැළඳ ගැනීමේ වුවමනාවක් ඇති වුවත් එය වළකාලන ලද්දේ සිතේ ඇතිවුණු ලැජ්ජාව විසින් විය යුතුය. කාමරයෙන් පිට වෙන්නට පෙර යළිත් වරක් ඇය මා ඇමතුවාය.

"මහේල...යන ගමන් කඩේ ගිහින් යමු.. ගෙදර මොනවත් නැහැ...." 

Nihal Ananda

unread,
Dec 8, 2023, 10:01:52 AM12/8/23
to ind...@googlegroups.com
තවත් එක්  සැමියෙකුගේ කතාවක් ...

ඒක  නම් ...... පට්ට !  🙃
[ ෆේස්බුක් වල  ..... මේ වගේ පොඩි පොඩි එක්ස්පිරියන්ස් තියෙනවා !
නෝන මහත්තයට, දූ ලාට ..... මේ කතාව යවනවා ද කියල හිත හිතා ඉන්නවා !! ]

Nissanka Rajapaksa

unread,
Dec 8, 2023, 6:37:01 PM12/8/23
to INDRAKA group
38
පොලෝ කුහරයෙන් පැමිණි මිනිසා

- බංග්ලාදේශ් ජාතික ලේඛක ලතීෆ් කාෂ්මීර් 

පරිවර්තනය : ඩබ්ලියු ඒ අබේසිංහ 

ඊයේ සැන්දෑවේ රාවල්පිණ්ඩි නගරයේ පොත් සාප්පුවකට ගොඩ වැදුන මම, පොත් බර තොගයක් ම මිලට ගතිමි. සාප්පුවෙන් එලියට පැමිණි මට, මද ඇසිල්ලකින් ම පොත් මිටියේ බර දැනෙන්නට විය. මා වටා දක්නට ඇත්තේ හැඩට වැඩට ඇඳ පැළඳ ගත් ජෙත්තුකාරයින් ය. ඇත්තම කියනවානම්, මගෙ වැදගත් ධනපති තත්වය ගැන කල්පනා වූ මට, ලැජ්ජාවක් ඇති විය. බටහිර පන්නයේ ඇඳුම් ඇඳ සිටින මට බර පොත් මිටියකුත් උසුලාගෙන ගමන් කළ හැකිද? ඇත්තටම බැරිය. වට පිට බැලුවද කුලී කාරයෙකු ළඟ පාතක නැත. සාප්පුවෙන් මදක් පිටත පැකිලෙමින් සිටින විට, මා පිටුපසින් අසුනේ බයාදු හඬකි.

“බාබුජී, මම පාර්සලය ගිහිල්ල දෙන්ඩ ද?

වටපිට බලන විට මා දුටුවේ සිනාසෙමින් මා දෙසට පැමිණෙන කිලිටි මුහුණකි. එහෙත් අලුත උපන් දරුවෙකුගේ අහිංසකත්වය එම කිලිටි තලයෙන් වැසී තිබුණේ ය. මේ මුහුණේ අයිතිකාරයා, බොහෝ ම මෑත දී මහ පොළෝ කුහරයෙන් එලියට පැමිණියෙකු විය යුතු ය.

“හොඳයි, එහෙනම් මේක බස් එක ගාවට ගිහිල්ල දෙන්ඩ. මට පරණ ටවුමට යන බස් එක අල්ලගන්න තියෙනවා... ආ මෙන්න..” සාක්කුව අත ගෑ මම, පයිසා දහයේ කාසියක් ඔහු අත තැබීමි. කාසිය ඔහු අත තැබූ පසු මා තුළ හටගත්තේ ආත්මාභිමානයකි. මා මේ මිනිහාට වැඩේට කලින් ම කුලිය ගෙවා ඇත. ඔහුගේ විශ්වාසය ඇති වන්නට, එය හේතුවක් නොවේද?

“බාබු සහීබ්, මට දැන්මම සල්ලි ඔනැ නෑ” කියමින් සිය අන්ඩ දැමූ අත් කොට කබායේ කිසියම් තැනක කාසිය ඔබාගත් හෙතෙම, අහිංසක ලෙස සිනාසුණේ ය. මේ මිනිහා වැදගත්යයි ද අවංකයයි ද මම සිතේ සනිටුහන් කර ගතිමි. සෙනග අතරින් වක ගැසී ඉදිරියට ගමන් කළ හෙතෙම, අන්තිමේ දී බසයට ගොඩ නැගී හිස් අසුනක් මත පාර්සලය තැබීය. මෙම පෞරාණික වාහනයේ ඉඩ ඇති අසුනක පහසු ලෙස හිඳගත් මට, මොහොතකට සියල්ල අමතක විය. වාහනය ගැස්සෙමින් ද පැද්දෙමින් ද පරණ නගරයේ අබලන් පාර දිගේ ඇදෙන්නට විය. හදිසියේම මා දුටුවේ මා දෙස බලා සිටින මගේ කුලී කාරයා ය. මම ඔහුට, මා සිටි අසුනේ බිඳක් ඉඩ දුනිමි. එහෙත් හිස සෙලවූ ඔහු මා ලඟින් ම බිම වාඩිවූයේ තුටු පහටු සිතිනි.

“ඇයි, තමුසෙ බහින්නෙ නැද්ද?” මේ මිහිහාගේ ගුප්ත සිනහව තේරුම්ගත නොහැකිවූ මම, ඔහුගෙන් විමසුවෙමි. මලානික කම්මුල් මත තැවරී තිබුණු කුණු තට්ටුව මත වුව, ඔහුගේ පහන් සිනහව පැතිර ගියේ ය.

“මාත් යන්නෙ පරණ ටවුමට” ප්‍රිය උපදවන හඬින් කී ඔහු මා දෙස බලා විරිත්තීය.

“එතකොට තමුසෙගෙ නම?”

“රාසුල් ජූ, ඔහු යලිත් සිනාසුණි. කොන්දොස්තර පැමිණි විට මම ටිකට් දෙකක් ම ගතිමි. එකක් රාසුල් ජූ අතේ තැබූ විට, ඔහුගේ දෙනෙත කෘතවේදී සිනහවකින් උතුරා ගියේ ය. රාජා බසාර්හි දී බසයෙන් බට මම, පොත් ටික ද කිහිලි ගසා ගෙන පදික වේදිකාව දිගේ ගමන් කරන්නට වුයෙමි. දැන් මා සිටින්නේ මට හුරු පුරුදු පරිසරයේ ය. එබැවින් කිසිවෙකුට කිසිවක් ඇඟවීමට කිසිම වුවමනාවක් ඇත්තේ නැත.

මද ඇසිල්ලකින් කිසිවෙකු මා පසුපස එතැයි මට දැනෙන්නට විය. ගැට කපන්නෝ සහ මං පහරන්නෝ මගෙ සිතෙහි මැවෙන්නට වුහ. මොකකටත් මම කමිස සාක්කුව අත ගා මුදල් පසුම්බිය ඇතිදැයි බැලුවෙමි. එය එහි විය. සැනසිලි සුසුමක් හෙළු මට යළිත් දැනුණේ කිසිවෙකු මා ලඟට ම පැමිණ සිටින බව ය.

කිසිම හෙවනැල්ලක් මා ඉදිරියට නැමෙයි. කහ පැහැ ගැන්වුණු දත් දෙපෙළ පාමින් සිනාසුනු කෙනෙක්, කිහිල්ලේ තිබුණු මගෙ පාර්සලය තමා අතට ගත්තේ ය. කලින් පැවති භීතිය වෙනුවට දැන් මා තුළ ඇත්තේ සැකයත් නොරිස්සුන්කමත් ය. ‘මේක තමුසෙගෙ පුරුද්දක් ද?’ පාරෙ යන මිනිස්සුන්ගෙ පාර්සල් බලෙන් උස්සන් යන එක?’ මා විමසුවේ සාවඤ ලෙස ය. මේ වන විට රාසුල් ජූ මගෙ පොත් මිටිය ඔහුගේ උරහිස මත තබාගෙන අවසන් ය.

“බාබු සහීබ් කොහෙටද යන්නෙ?” බැගෑපත් ලෙස ඔහු මගෙන් විමසී ය.

“මහ පල්ලිය ගාවට. ඔහේ කොහේ ද යන්නෙ?”

“මං යන්නෙත් මහ පල්ලිය ගාවට, බාබුජි”

මට හමුවී ඇත්තේ කරදරකාරී චරිතයක් බව ඔබට අමුතුවෙන් පැවසීමට දැන් අවශ්‍ය නැත. මේ මිනිහා අමතර කාසියක් දෙකක් සොයා ගන්නේ මොන තරම් දක්ෂ ලෙස ද? මේ මිනිහාට මීට වඩා මා තම්බන්නට ඉඩ දිය යුතු නැත. පයිස පනහකට වැඩියෙන් තබයක්වත් මම මිනිහාට දෙන්නේ නෑ.

මා ඔහු දෙස බැලුවේ විහිළුකාර ස්වරූපයක් මවාගෙන ය.

"තමුසෙගෙ බඩ ගෙඩිය ඇතුලෙ තියෙන ගින්දරට කන්ඩ දෙන්ඩ, දවසකට කොච්චර ඉන්ධන එකතු කරනවද?”

මා යෙදූ උරුදු ප්‍රස්තා පිරුළේ කිසිඳු අරුතක් ඔහුට වැටහුණු බවක් පෙනෙන්නට නැත, දූවිලි වැකුණු දෙතොල් හැර නිහඬ ව සිනාසුණු ඔහු තමාගේ දින චර්යාව ගැන දිග හෑල්ලක් කියන්නට වන්නේය. ඔහු කිසියම් කොන්ත්‍රාත් කරුවෙකු ළඟ දවස් කුලියට වැඩ කර ඇත. අන් හැම කොන්ත්‍රාත්කරුවෙකු මෙන් ම, මේ ,මිනිහා ද හොරගෙඩියෙකි. සිය කුලීකරුවන්ගෙන්, දවල් රෑ දෙකේ ම වහලුන්ගෙන් මෙන් වැඩගත් මේ මිනිහා මොකක් හෝ හේතුවක් අල්ලාගෙන කුලීකරුවන්ගෙන් පඩි කපන කලාව හොඳින් දැන සිටියේ ය.

“තමුසෙ කොයි පළාතෙද? මගේ අශෝභන පුංචි මිත්‍රයාගේ අතීත වගතුග සොයන රිසියක් මා තුළ ඇති විය.

“මම කාශ්මීරයෙන්, බාබු සහීබ්” ඔහු මා සමග පැවසී ය. “අපේ මුල් පදිංචිය ගොපූර්වල. ඉන්දියානු සොල්දාදුවො අපේ ගෙවල් පුච්චලා වගා විනාශ කලාට පස්සෙ, අපි පන්ජාබයට පැනල ආව. දුප්පත් මිනිහෙකුට මේ ලෝකෙ කිසිම හව්හරණක් නෑ, බාබුජි”

ඉන් පසුව ඔහුගේ පාළු මලානික මුහුණේ සිනාවක් පහල වූයේ නැත. එහි ඇඳි තිබුනේ වෛරයයි. ඒ වෛරය ඔහුගේම වර්ගයා වෙත යොමු වූවක් ද? එසේත් නැතිනම්, තමා ගොදුරක් බවට පත්ව සිටින මුළු මහත් සමාජ ක්‍රමය කෙරෙහි ම එල්ල වූවක් ද?     හදිසියේ ම නැගී සිටි හෙතෙම, ගැඹුරු කල්පනාවේ නිමග්න විය. ඔහුගේ පෙනුම දාර්ශනිකයකුගේ වැනි වී යැයි මට සිතුණි.

“ඔගේ දවසකට කීයක් විතර හම්බ කරනව ද?” ඔහු කෙරෙහි මා තුළ අනුකම්පාවක් හටගෙන ඇත්තේය.

“රුපියල් දෙකක් විතර. වැස්සොත් එහෙම කීයක්වත් නෑ. ඒ කියන්නෙ එදාට අපේ ගෙදර සේරම බඩගින්නෙ කියන එකයි. එහෙම දවස්ල්වල අපි වේලිච්ච බාර්ලි ටිකක් කෑමට ගන්නවා.”

රාසුල් ජු මා සමග දැන් කතා කරන්නේ මිත්‍ර ලීලාවකිනි. මදින් මද තමාගේ ජීවිතය ගැන ඔහු කළ විස්තරයෙන් පෑරුණු සිතැති මම, පොදුවේ මිනිසුන්ගෙ ඉරණම ගැන සිතන්නට විය.

රාජා බසාරයේ මහා හන්දියේ දී කවියෙකු හා නළුවෙකු වන මගෙ මිත්‍රයෙක් මට මුණ ගැසුණි. මහ පාර මැදම මා නවතා ගත් ඔහු සිය අලුත්ම දිග කාව්‍යයට සවන් දෙන මෙන් මට බල කරන්නට විය. ඒ වූකලී උර්දු කාව්‍යයෙහි විප්ලවීය වෙනසක් ඇති කරන කෘතියකැයි මගෙ මිත්‍රයා කියන්නට වන්නේ ය. එහෙත් මට නම් සිතුණේ ඔහුගේ කවියත්, පෙම්වතුන්ගේ හමුවීම හා වෙන්වීම ගැන කියවෙන එකම ජාතියේ තවත් කවියක් ලෙස පමණි. කවියේ ඉතිරි ටික පසුව සවන් දීමේ පොරොන්දුව පිට මිත්‍රයාගෙන් ගැලවෙන්නට අන්තිමේ දී මට හැකි විය.

මම වේගයෙන් ඉදිරියට ගමන් කලේ හැකි විගස ගෙදර යන බලාපොරත්තුවෙනි. එහෙත් වැදගත්ම දෙය නැතිවී තිබෙන බැව් මා පසක් කලේ එවිටය. මගේ පාර්සලය! රාසුල් ජු. වියරු වැටුණු කලෙක මෙන් වටපිට බලන්නට වීමි. මගෙ කවි - නළුවා, මා කලින් සිටි තැනම තවමත් සිට ගෙනය. එහෙත් රාසුල් ජු ? ඒ කාලකණ්නියා පේනතෙක් මානයකවත් නැත. මගෙ පාර්සලය ඉතා වැදගත් පුස්තකාල පොත් කිහිපයක් විය. ඒ කිසිවක් කිසිම තැනකින් යළිත් මට ලබා ගත නොහැක. සිහි කල්පනාව නැති වූ මම පදික වේදිකාවේ ඒ මේ ඇත ඇවිදින්නට වීමි. මම දුප්පත්කමත්, දුප්පත් කාලකණ්නි ගැනත් සාප කරන්නට වන්නෙමි. මුළු බසාරය ම මිනිසුන්ගෙන් පිරී ඇත. රාසුල් ජු තබා ඔහුගේ මුහුණුවර ඇති එකෙකුවත් ඒ අතරින් හඳුනාගත නොහැක. දැන් නම් මට උගේ බොටුව වුණත් මිරිකිය හැකිය. දැන් කළුවර වැටී ගෙන එයි. මා අනාතභාවයේ කලුපාට රාත්‍රියක ගිලෙමින් සිටින බවක් මට දැනේ.

මේ වාගේ මිනිහෙකු විශ්වාස කිරීම ගැන මම මටම සාප කර ගත්තෙමි. රාසුල් ජු අතුරුදහන්ව ඇත. එහෙත් ඔහුගේ අවංක මුහුණ මා ඉදිරියේ දර්ශනය වන බවක් මට දැනෙයි. ඒ වුණත් මිනිසෙකුගේ පෙනුම කොතරම් වංචාකාරී ද? මේ මිනිහා හෙරෙහි අනුකම්පා කිරීම ගැන මම මට ම වියරු ලෙස සිනාසුනෙමි. හැම දිසාව ම බලමින් ද කිසියම් ආශ්චර්යකින් මගේ පොත් ටික ආපසු ලැබෙතැයි සිතමින් ද මම ඉදිරියට ගමන් කරන්නට වුයෙමි. මේ පාරේ මා කලින් සිටි මහ හන්දිය වෙත ආපසු ගියෙ නම් මැනවයි මට හදිසියේ ම කල්පනා විය. ඇතැම් විට අර තක්කඩියා එතැන සැඟවී සිටිනවා විය හැකි ය. මම වහා ආපසු දිව ගියෙමි.

මා වටා ගොඩ ගැසෙන රිය පෙළ. එකිනෙක ඇදී යයි. සාප්පු යන ගැහැණු මිනිස්සු අනෙකාගේ ප්‍රීතිය හා වේදනාව ගැන නොසිතා ම එකිනෙකාගේ ඇඟේ හැපෙමින් ඔහේ යති. සාප්පු තුළින් නියෝන් එළිය විහිදෙයි. රිය පෙළ මැදින් නැග එන හඬ මහ ගෝසාවක් බවට පත් වෙයි. ජීවිතයේ කිසි කලෙක නූපන් අසරණභාවයක් දැනෙන්නට වෙයි. මේ වූ කලී කිසියම් කෙනෙකු සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් ම මා වරද්දා ගත් මුල්ම අවස්ථාවය. ඒ සියල්ලටම වඩා මගෙ සිත රිදවන්නේ සුරාකනු ලබන නිර්ධන පංතියේ එකකු විසින්ම මා වංචා කරනු ලැබීමයි. ඇත්තටම මේ නම් තිත්ත වස කෝප්පයක් නොවේද? හදිසියේම එය පානය කරන්නට මට සිදු වී ඇත්තේය.

තව දුරටත් රාසුල් ජු සොයා යෑම පලක් නැත. එබැවින් අන්තිමේ දී නිවස බලා යාමට මම තීරණය කළෙමි. මහා පල්ලියත් එහි දීප්තිමත් වර්ණයෙන් සුසැදි කවුලුත් මා ඉදිරියේ නැගී සිටි. පල්ලිය මුදුනේ නගා ඇති ශබ්ද විකාශනයෙන් සංගීතවත් වූ යාඤා හඬ පැතිර යයි. “අල්ලා හ් ඕ - අක්බර්. දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨ වන සේක.” රාසුල් ජුගේ වංචාකාරී බවත් මාගේ තකතීරු බවත් හේතු කොටගෙන මා තුළ කෝපයක් නැගි නැගී එයි. “අල්ලා ශ්‍රේෂ්ඨ වන්නට පුළුවන. ඒ වුණත් මිනිහා මොන තරම් ක්ෂුද්‍ර ද? මොන තරම් නීච ද? දෙවියන් වහන්සේ තමන්ගේම පහන දල්වා ගෙන සිටියි. එහෙත් තමන්වහන්සේ විසින් ම ගෙවල්වල පහන් නිවා දැමීම ගැන උන්වහන්සේට නිනව්වක් ඇත්තේ නැත. මිනිහා මවනු ලැබ ඇත්තේ දෙවියන්ගේම ප්‍රතිරූපයෙනි. ඒ වුණත් ඒ ශ්‍රේෂ්ඨත්වය ලෝකයේ තියෙන හැම වෙළද පොලකම වෙන්න්දේසි කරනු ලැබේ.” තිත්ත ස්වරයෙන් මම මටම කියා ගතිමි. මේ අයුරු දිලිසෙන පල්ලියේ හෙවන යට බොහෝ වෙලාවක් මා සිටින්නට ඇත.

කිසිවෙකු ම‍ට අඬගහන ශබ්දයක් ඇසෙයි. කටහඬද මට හුරුය. හදවත, පිම්බුණු ඊට ඇටවලට වැඩෙනු මට දැනිණි... ඔව් ඒ රසුල් ජුගේ කට හඬය.

“බාබුජි පුදුම කෙනෙක් නෙ. මම බසාර් එකේ හැම තැනම තමුන්නාන්සෙව හෙව්වා. තමුන්නාන්සෙගෙ බංගලාව තියෙන තැන දැනගෙන හිටිය නම්, මට පාර්සලය එහෙ තියන්න තිබුණා.”

මම ඔහු දෙස බලා ගත් වනම බලා සිටියෙමි.

“තමුසෙ පල්ලිය ඇතුළේ මොනවද කළේ ? යාඤා කර කර හිටිය ද? ප්‍රීතිය නිසා ම ඔහු පපුවට තද කර වැළඳ ගන්නට සිතුණි.

නෑ නෑ බාබු සහීබ්, මම එහෙට ගියේ යාඤා කරන්න නෙමේ. ඔහු විරිත්තමින් කියන්නට වන්නේය. “මම තමුන්නාන්සෙ එනවද බලන්ඩ පඩිපෙළ උඩ ඉඳගෙන හිටියෙ. ඇයි තමුන්නාන්සෙමනෙ කිව්වෙ, තමුන්නාන්සෙ ඉන්නෙ මහා පල්ලිය ගාව කියල.”

වීදිය දිගේ ගමන් කළ මම, රාසුල් ජු ද කැටුව ගෙදර ගියෙමි. දොරට තට්ටු කර ඇරෙන තුරු මොහොතක් බලා සිටියෙමි. ඒ මොහොතේ මා කල්පනා කරමින් සිටියේ, මගෙ කවි නළු මිත්‍රයා විසින් සැබෑ ජීවිතයේ සුන්දරත්වයත්, අවලස්සනත් ගැන කවියක් ලියන්නේ නම් මැනවයි කියාය. මේ කඳුකර කුලීකාරයින් ගැනත් කවියක් ලියන්නට වටියි. මෙවන් දරිද්‍රතාවයකින් මතු වූ මිනිහෙකුගේ උදාරත්වයට මගෙ මිත්‍ර කවියා හිස නමා සිටිය යුතුය. තමාගේ ම උපන් බිමෙහි තමා සතුව තිබුණු සියලු දේ නැතිවුණු, ඉන් පසු තමා නොහඳුනන, කුරිරු සමාජයකට පැමිණ සිටින ඒ සමාජයේ කෲරත්වයෙන් විනාශයට පත් නොවී නැගී සිටින මේ අරුම පුදුම මිනිහාගේ උදාරත්වය ගැන ඔහු කවියක් ලිවිය යුතුමය.

දොර ඇරියේ මගෙ මෑණියන්ය. තමා ඉදිරියේ ප්‍රාදුර්භූත වුනු කඩමාළු මිනිසා දෙස වරක් හරී බැලු ඕ මොහොතකට සිය සුදුවන් හිස සලා යාඤා කරමින් සිටි තැනට ම ගියා ය.

රාසුල් ජු අතේ තිබුණු පාර්සලය ගත් මම, එය අසල වූ බැංකුවක් මත තබා ඔහු වෙත රුපියලේ නෝට්ටුවක් දිගු කළෙමි. ඔහුගේ පැතලි මුහුණේ සිනාවක් නැගුණි. ඔහු හිස සැලීය. ඔහු කෙරෙහි කලකිරුණු මම තවත් පයිස විසි පහක් ගෙන, ඔහුගේ අත් කොට කබායේ උඩ සාක්කුවට දැම්මෙමි. එහෙත් මුදල් එලියට ගත ඔහු එය යළිත් මා දෙසට දෙන්නට වෑයම් කලේ ය. මම ඔහු දෙස රවා බැලුවෙමි.

“මට මේක ගන්ඩ බෑ” කොඳුරමින් කී හෙතෙම ඒ මුදල මගෙ පාර්සලය මත තැබී ය.

“ඇයි තමුසෙට ඒක මදි ද? මීට වඩා එක පයිසයක්වත් තමුසෙට දෙන්නේ නෑ. ඕනෙ නම් ඒක අරං යනවා.” දැඩි ස්වරයකින් එසේ පවසන විට මගේ කට හඬ වෙවුලන්නට විය. රාසුල් ජු මා දෙස බලා ගත වනම තවත් බලා සිනාසෙයි.

යාඤා කරන්නට එලා ගත් ඇතිරිල්ල හකුලා දැමු මගෙ මෑණියන් මා වෙත පැමිණ සිට ගත්තා ය. “උඹට සල්ලි එපා නම් නිකා ඉඳින් කාලකණ්නි මනුස්සයෝ. උඹලගෙ ජාතියේ කුලීකාරයෝ සේරම එක වගේ. උඹලට දස දහස් ගානක් හම්බ වුණත් උඹල අඳින්නෙ කඩමාළු.” ඔහු දෙස හරී කෑ ගසන්නට වූ මගෙ මෑණියෝ, සිය ජප මාලයේ ඇට එකිනෙකට වේගයෙන් ගනින්නට වුවාය. හදිසියේම මා තුළ හටගත්තේ දැඩි අනුකමපාවකි. එතකොට අදත් රාසුල් ජුට වේලිච්ච බාර්ලි කන්ඩ සිද්ධ වෙයිද ?

“මෙන්න පයිසා විසිපහක්. හැබැයි ඊට වඩා නම් බෑ.” රසුල් ජු මා දෙස බලාගත්වන ම නැගී සිටියේ ඉතා උදාර ලීලාවෙනි.

“නෑ නෑ බාබු ජී. තමුන්නාන්සෙ මාව වැරදියට තේරුම් අරගෙන. තමුන්නාන්සෙ මට කරුණාව දැක්කුවා. මට මිනිහෙකුට වගේ සැලකුවා. මට තමුන්නාන්සෙගෙ සල්ලි කීයක්වත් ගන්ඩ බෑ.”

සිදු වූයේ කිමෙක්දැයි තේරුම් ගන්නට පෙර ඔහු නිවසින් එළියට පැන ගමන් කරන්නට වන්නේ ය. සල්ලි ටික ද මිටෙහි රුවා ගත් මම ඔහු පසු පස එළවන්ට වීමි. එහෙත් රාසුල් ජු අතුරුදහන්ව සිටියි. ඇතැම්විට ඔහු පොළෝ කුහරයටම ආපසු ගියා වන්නට ඇත. ලැජ්ජාවෙන් ද අපමණ වේදනාවෙන් ද පීඩිත වූ මම, ඔහු ගිය අත බලා සිටියෙමි.

Nissanka Rajapaksa

unread,
Dec 8, 2023, 6:38:08 PM12/8/23
to INDRAKA group
39
ටෝල්ස්ටෝයි කතා

පරිවර්තනය සිරිල් සී පෙරේරා 


Nissanka Rajapaksa

unread,
Dec 10, 2023, 2:39:17 PM12/10/23
to INDRAKA group
41
ඊවා සහ රෝසන්

-- බර්නාඩ් මලාමුඩ්

පරිවර්තනය කේ ආනන්ද තිස්ස හිමි

Nissanka Rajapaksa

unread,
Dec 11, 2023, 5:36:11 PM12/11/23
to INDRAKA group
42
"ද " Silent Man 

- මංජුල සේනාරත්න 

වයස අවුරුදු 21 සිට 25 දක්වා නොයෙකුත් ආදර වික්‍රමයන්හි පැටලුනු මට අවසානයේ දී ඉතිරි වූයේ වෙහෙසට පත් හදවතකි. කෝප වුණු මනසකි. සියලුම තරාතිරම් වල, වයස් සීමාවන් ගේ, සමාජතල වල පිරිමින් මගේ ප්‍රේමනීය වන්දනා ගමනේ සහකරුවන් වුවත්, ඒ කිසිවෙකුත් අනාගත ජීවන ගමන සඳහා සුදුසුකම් ප්‍රදර්ශනය නොකළහ. කිසිම පිරිමියෙක් පරිපූර්ණ නැත. මේ පරිපූර්ණ බව ප්‍රතිශතයක් ලෙසින් ගත්තෝතින් අඩුම තරමින් සියයට විස්සක අගයකවත් පෙන්නුම් කරන පිරිමි සොයා ගන්නට අද දවසේ නොහැකිය. මල්ලිලා, අයියලා, අංකල් ලා මේ සියලු දෙනා අතරම විටින් විට සැරි සැරූ මම සෙව්වේ අනාගතය ගැන පුංචි පහේ සුරක්ෂිත භාවයකි. මගේ සිරුරේ රස බලන්නට සියල්ලෝ දෑත් සෝදාගෙන කැමැත්තෙන් සිටියද, විවාහය මාතෘකාවක් වූ කළ ඒ සෝදා ගත් දෑත් කළිසම් සාක්කු වල හොවා ගෙන සැගව ගියහ. 
ප්‍රේම සබඳතා කීපයක් පවත්වා අන්තිමේදී විවාහයක් කර ගන්නා පිරිමියා LIFE එක ENJOY කළ අයෙකු ලෙස හැඳින්වෙයි. ගැහැනියක් එසේ කළ විට හැදින්වෙන්නේ බඳින්නට පෙර "වටේ ගිය" එකියක් ලෙසිනි. නැතිනම් ඇය "බඩුවකි". වරදවා වටහා නොගන්න. ආදර සබදතා කීපයක පැටලුනත් මම බඩුවක් නොවෙමි. පෙම්වතියත්, බඩුවත් අතර ඇති ඉතා සියුම් පටලය තුළින් එබිකම් කර බැලුවා විනා එය විනාශ කර ගැනීමේ වුවමනාවක් මට තිබුණේ නැත. ඒ පටලය ඇසට හසු නොවන සේ සිහින් වුවත්, එය තරුණියකගේ ජීවිතය රැක ගන්නා මහා පවුරක් බව මට කිවේ කිසිදිනක විවාහ නොවුණු ඥාති සොයුරියකි. 
කෙසේ හෝ වේවා වයස අවුරුදු 26 ක් වෙද්දීත් අනාගතය බෙදා ගන්නට පිරිමියෙකු සොයා ගන්නට නොහැකි වූ විට, දෙමාපියන්ගේ කැමැත්තට ඉඩ දෙන්නට මම තීරණය කළෙමි . එනම් විවාහ යෝජනාවකට යටත් වීමයි. මා වැනි රූමතියකට, හැඩ කාරියකට, පට්ට කෑල්ලකට සහකාරියක් සොයා ගැනීමට නොහැකි වීම තුළින් පිළිඹිබු වූයේ මගේ අසාර්ථකත්වය නොව සමස්ත පිරිමි ප්‍රජාවේ කඩා වැටීම යැයි මම සිතුවෙමි. 
මා බලන්නට පැමිණි පළමු තරුණයා Death Penalty නමැති ජීවිත රක්ෂණ ආයතනයේ විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන, නමින් ප්‍රසන්න නම් වූ ප්‍රසන්න තරුණයෙකි. ඔහුට දිගු ඇඟිලි ඇති බව මම දුටිමි. උදේ රැවුල කපන්නට ගොස්, වැරදි රේසර් පහරක් නිසා සිදුකර ගත් පුංචි ලේ බිබිල ඒ මුහුණට ගෙනැවිත් තිබුනේ හුරුබුහුටි කමකි. කා, බී, "බ්ලා බ්ලා" කතාවෙන් පසුව දෙපාර්ශවයේ අය අපිට කතා බහ කරන්නට ඉඩ දී පිටව ගියහ. ඔහු මදෙස බැලුවේ සංචරණ නීති කඩා පොලිසියට හසු වූ ගවයෙකු මෙනි (ගවයෙක්..?). 
"මගේ නම ප්‍රසන්න ..."
"මම මාදවී.."
"හා.. ඔයාට වෙන නික් නේම් එකක් තියේ...?"
"ඔව්."
"කියන්න.."
"මොකක්ද..?"
"නික් නික් නේම් එක .."
"දන්න දවසේ ඉඳන් දඟ කරපු හිනදා අම්මා මට කිව්වේ මදාවි කියලා. එක තමයි නික් නේම් එක..." ප්‍රසන්න තරුණයා අප්‍රසන්න මුහුණක් ඇති කර ගත්තේය. ඔහු නිහඩ විය. කෙසේ හෝ වේවා අදහා ගත නොහැකි ආරංචිය දැන ගන්නට ලැබුණේ දින දෙකකට පසුවය. ඒ යකා මට කැමති නැතිලු.  
එය වනාහී දරා ගත නොහැකි කම්පනයකි. මගේ ආත්ම විශ්වාසය බින්දුවට බැස්සවූ තීරණයකි. මගේ රුව ගැන මවාගෙන සිටි උද්දාමය ප්‍රසන්න තරුණයා වදන් කීපයකින් විනාශ කර දමා තිබේ. සීරියස්ලි. යම් අයෙකු ඔබව ප්‍රතික්ෂේප කරන්නේ නම් එයට හේතුව විමසා දැන ගැනීමට අයිතියක් ඔබට තිබේ. එය මානුෂික අයිතිවාසිකමකි. "තමුසෙට මාව එපා නම්, මට තමුසෙව දහස් වාරයක් ඕනා නැහැ. ඒත් මට අයිතියක් තියනවා තමුසේ මට අකමැති වුණේ මොකද කියලා දැන ගන්න.." මේ වදන් කීපයක ප්‍රසන්න තරුණයා ඉදිරියේ දිග හරින්නට සිතු මම ඔහුව සොයා ගියෙමි. ගාලු මුවදොර "ෂී - යෑන් - පී" ගොඩනැගිලි සංකීරණයේ "සැක අ කූයී" බිල්ඩිමේ 46 වන මහලේ Death Penalty ආයතනයේ කාර්යාලය පිහිටා තිබේ. පිළිගැනීමේ නිලධාරිනිය මා වැනිම රූමතියකි. රූමතියක් තවත් රූමතියක් දුටුවිට ඇයව සත පහකට මායිම් නොකිරීමේ රෝගය හඳුන්වන්නේ FTB syndrome
 (Fuck That Bitch) නමිනි. ඒ රෝගයෙන් සිරුර වසා ගෙන සිටි පිළිගැනීමේ කෙල්ල මගේ වුවමනාව අසා who are you ..? යැයි ඇසුවාය.
"I am your blood cancer.." මම කිමි. ඇය ලේ රතු විය. සන්සුන්ව ප්‍රසන්න විමලවීර ඇමතුවේය.
 තරුණයාගේ දෙනෙතට මා හසු වුණු විට මුහුණ, කුණුවී බිම වැටී පුපුරා යන ලාවුලු ගෙඩියක සිරි ගන්නා අයුරු මම දුටිමි. ගමන අඩපණ විය. සිරුර ගං වතුරට සෝදාගෙන යන ෂොපින් බෑගයක් බවට පත් විය. ඔහුට බැන වදින්නට සිතා ගෙන ආ මගේ සිතේ කෝපයද දියවී යනු දැනුණි. මේ තරුණයා ගේ මුහුණේ, ඔහුගේ හැසිරීමේ කුමක් හෝ අදහා ගත නොහැකි වෙනසක් ඇති බව ඒ මොහොතේ මම වටහා ගතිමි.
"මම කෙළින්ම කතාවට බහින්නම්. ඇයි ඔයා මට අකමැති වුණේ ..? එක හේතුවක් දෙන්න. ඒ ඇති.. ඊට පස්සේ මම යනවා.." ඔහු වට පිට බලා මට ලං විය. භීතිය කටහඩේ ද ගැබ්වී තිබුණි 
"අපි යමු කොහේ හරි ..."
"කොහේ යන්නද...?"
"මම කිව්වේ අපි යමු කොහේ හරි. මෙතන කතා කරන්න බැහැ ..." ඒ ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ තිබූ චීන අවන්හලක වාඩි ගත්තාට පසු තරුණයා නාදුනන බීම වර්ග දෙකක් ඉල්ලා චීන වේටරයාගෙන් ඉල්ලා සිටියේය. "ඔයා මොනවා හරි කන්න කැමති ඇති.. බඩගිනිජ...?" තරුණයාගේ ඊළඟ ප්‍රශ්නය විය. 
"ඇයි ඔයා අමුතු විදිහට කතා කරන්නේ..?" මම ඇසුවෙමි. ඔහු කතා කරන්නට වචන සොයා ගත්තේ අමාරුවෙනි. වදන් අතර තත්පර දෙකක පමණ නිහැඩියාවක් තැබුවේය. මාළු බනිස් ගෙඩියක් කටේ හිර කරගෙන සිටියාක් වැනිය. 
"ඔයාට කියන්න යමක් තියනවා. මම ඔයාට අකමැති වුණේ හේතුවක් නිසා. ඔයා ලස්සන නැති නිසා නෙමෙයි..මගේ ජිවිතේ මේ වෙනකොටත් හැමෝටම විහිළුවක් වෙලා. ඒ විහිළුවට ඔයාවත් එකතු වෙනවට මම කැමති නැහැ. "
"ඔයා මොනවද මේ කියන්නේ...? "ඉන් අනතුරුව තරුණයා සාක්කුවෙන් කුඩා කඩදාසි කැබැල්ලක් ගෙන එහි යමක් ලියා මට පෙන්වූවේය . 
"මොකක්ද මේ .. ද යන්නක් .. ඉතිං ..?"
"මට ඔය අකුර කියන්න බැහැ . මේකේ ප්‍රශ්නයක් හින්දා.." ඔහු තම දිවේ තුඩ පෙන්වයි..මගේ මුවට යන්තම් සිනහවක් මතු වුණත්, එය අපහසුවෙන් මැඩ ගන්නට උත්සාහ කළෙමි. " ඒ කියන්නේ ඔයාට 'ද' යන්න කියන්න බැහැ..? ඒ වෙනුවට මොකක්ද කියවෙන්නේ...?"
"ජ යන්න..." ඒ වාරයේ නම් මගේ සිනහව නවත්තා ගන්නට නොහැකි විය. ප්‍රසන්න තරුණයා මුහුණේ දුක පුරවාගෙන මදෙස බලා සිටියේය. 
"සොරි අනේ.. ඒ කියන්නේ ඔයා ද වෙනුවට කියන්නේ ජ යන්න.. ඒකද මගෙන් බඩගිනිජ කියලා ඇහුවේ..?"
"මම හැම තිස්සෙම ට්‍රයි කරනවා..ඔය අකුර තියන වචන නොකියා ඉන්න..ඒකයි කතා කරන කොට ටිකක් වෙලා යන්නේ.."
"කොහොමද ඕක වුණේ ..කවදා ඉඳලද ..?"
"මං හුගක් පුංචි කාලේ ජුජුප්ස් කන්න හුඟක් ආසයිලු. රෑට නින්ජෙනුත් කනවලු..."
"නින්දෙන්..? ඉතිං ..?"
"ඉතිං නින්ජෙන් ජුජුබ්ස් කියලා මම කාලා තියෙන්නේ මගේම ජිව ..ජිව තුවාල වෙලා හුගක් අමාරු වෙලා තියනවා. ඒ ජවස් වල ඉඳලා තමයි මට ජ යන්න කියන්න බැරි..."

"සොරි අනේ හිනා වුණාට ..ඉතිං ඕක ඔපරේෂන් එකකින් හදන්න බැරිද..?"
"පුළුවන් .. ජීවේ පොඩි තැනක් හජන්න ඕනා කියනවා. ඒක හැජුවාම ජ යන්න කියන්න පුළුවන් වුණත් ජිවෙන් ගන්න අනෙක් වැඩ කර ගන්න බැරි වෙයි කිව්වා.."
"අයියෝ. අකුරක් කියන්න බැරි වුණාට කමක් නැහැ අනේ. දිවෙන් කරන අනෙක් වැඩ කර ගන්න බැරි වුණොත් ඒක ලොකු අපරාධයක්..." තරුණයා මදෙස බලා සිටියි. කියන්නට දිගු කතාවක් ඔහුට තිබේ. "ඉස්කෝලේ , කැම්පස් එකේ , ඊට පස්සේ මේ රස්සාවේ , හැම තැනේජිම මාව විහිලුවට ගත්තා. කොල්ලෝ මට කිව්වේ සයිලන්ට් ජ යන්න කියලා. ජ සයිලන්ට් මෑන් කිව්වා. සමහර ටීචර් ලා ජ යන්න වැඩියෙන් තියන වාක්‍ය මට කියවන්න කියලා හිනා වුණා . වෙලාවකට මට හිතුනා ජිවි නහ ගන්න..." මගේ සුරත මේසය මැදින් ගමන් කර ඔහුගේ වමත ස්පර්ශ කළේ මටත් නො දැනුවත්වමයි. හොඳ පවුලකින් පැවත එන, හොඳ අධ්‍යාපනයක් ලබා හොඳ රස්සාවක් කරන ප්‍රසන්න තරුණයාගේ ජීවිතය සන්තාපයෙන් පිරුණු එකක් බව මම නොදැන සිටියෙමි. ජීවිතය නරා වලක් කරන්නට සිංහල හෝඩියේ එක අකුරකට වුව හැකියාවක් ඇතිවා නොවේද..?
"ප්‍රසන්න...ඇයි ඔයා මාව බදින්න බැහැයි කිව්වේ..ඒක මේ 'ද' යන්න කියන්න බැරි වෙන එකට සම්බන්ධයක් වෙන්න විදිහක් නැහැනේ...?"   
"තියනවා. මම ඔයාගෙන් ඇහුවා නේ නම මොකක්ජ කියලා. ඔයා කිව්වා මාජවී (මාදවී ) කියලා. ඊට පස්සේ මම ඇහුවා නික් නේම් එක මොකක්ජ කියලා.. ඔයා කිව්වා මජාවි (මදාවි ) කියලා. ගෙජර එන ගමන් මම කල්පනා කෙරුවා . මට කවජාවත් ඔයාගේ නම කියලා හරියට කතා කරන්න බැහැනේ ...."
"ඕක මොකක්ද අනේ වෙන නමක් කියන්න බැරිය. රත්තරන් , වස්තුව , පැටියෝ , අම්මි , නංගි .චූටී ..ඔය ඕන තරම් නම් තියෙන්නේ.. ආ.. මට තව නමක් තියනවා. මාදවී දිල්රුක්ෂි ගමගේ තමයි මගේ ෆුල් නේම් එක.. ඔයා මට දිල්රුක්ෂි කියන්න. එහෙම නැතිනම් දිල් කියන්න.."
"එකෙත් ජ යන්නක් තියනවනේ ..මම කොහොමද ජිල් කියන්නේ...?"
"ඒකත් ඇත්ත.. මේ බ්ලඩි ලෙටර් එක සෑම තැනම..කව්ද අනේ මේ භාසාව හැදුවේ.."

"භාසාවේ වරජක් නෙමෙයි. මගේ ජිවේ වරජක්..ඒ විතරක් නෙමෙයි..මට කවජාවත් ඔයාට ආජරේ කියන්න බැරි වෙනව . ජිල් මම ඔයාට හරි ආජරෙයි කිව්වම ඔයාට හිනා යයි..මට බැහැ මගේ වයිෆ් මට හිනා වෙනව බලන්න..."
"අයි ලව් යූ කියන්න..."
"මම කවජාවත් කෙල්ලෙකුට ඇත්තටම ලව් කරළා නැහැ. ඒත් මට හිතෙන්නේ මොන බාසාවෙන් ආජරේ කිව්වත් ලස්සන නැහැ මගේ භාසාවෙන් ආජරේ කියනවා තරම්.. "
"හව් ස්වීට්..."
"අනෙක ඔයා වගේ කෙල්ලෙක් හුගක් ජේවල් බලාපොරොත්තු වෙනවා කියලා මට හිතුනා. ඔයා ලස්සනයි. හැජයි . හොජ ෆැමලි බෑක්ග්‍රවුන්ඩ් එකක් තියනවා. ඔයා ජීවිතෙන් හුගක් ජේවල් බලාපොරොත්තු වෙන කෙනෙක් නේජ ..ලස්සන කෙල්ලෙක් කියන්නේ අලුත්ම මොඩල් එකේ වටිනා වාහනයක් වගේ . හැමෝම හැරිලා බලනවා. පරිස්සමෙන් ඩ්‍රයිව් කරන්න වෙන්නේ. ලොකු ඉන්ෂුවරන්ස් එකක් ජාන්න වෙනවා. හැමෝම අත පත ගාන්න ආසයි. කොයි තරම් පරිස්සමෙන් ඩ්‍රයිව් කළත් කවුරු හරි පිටිපස්සෙන් ඇවිත් හප්පන්න පුළුවන්..ලස්සන කෙල්ලෙක් කියන්නේ ලොකු රිස්ක් එකක්. "
"මම ජීවිතෙන් ලොකු දේවල් ඉල්ලන්නේ නැහැ ප්‍රසන්න. කිසිම ගෑනියෙක් මහා ලොකු දේවල් ඉල්ලන්නේ නැහැ . ඔයා වගේ නෙමෙයි . මට ලව් කේස් ගොඩක් තිබ්බා. හැම වෙලාවේම මම බලාපොරොත්තු වුණේ අවංක කමක්. ආරක්ෂාවක්. මාත් එක්ක සුහද කතා බහක්. කතා කරන කොට මගේ ඇස් දෙක දිහා මිසක්, මගේ පපුව දිහා බලන මිනිහෙක් නෙමෙයි මට ඕනා වුණේ ..ලස්සන කෙල්ලෙක් කියන්නේ වටිනා වාහනයක් වෙන්න පුළුවන්. හැබැයි ඒ කෙල්ලගේ හදවත පැට්‍රල් බින්දු දෙක තුනකින් හැතැම්ම ගානක් නවතින්නේ නැතුව දුවන සිම්පල් වාහනයක්. හැමදාම නෙමෙයි. ඉඳලා හිටලා පොඩි සර්විස් එකක් දුන්නාම ඇති.."     
මට මුණ ගැසුණු අවංකම තරුණයා ඔහු විය යුතුය. "ද " යන්න මග හැර යමින් කතා බහේ යෙදෙන්නට ඔහු ගන්නා උත්සාහය මසිත ඇති කළේ ඔහු ගැන ගෞරවයකි. ඔහුට වැදගත් වූයේ මගේ රුව නොවේ. මා සමග ගත කරන අනාගතයයි. මගේ නම , මා හට ආදරය කරනා බව කියා ගන්නට ඇති විහැකියාවයි . මේ ප්‍රසන්න තරුණයා එක අකුරක් නිසා සමාජයේ හාස්‍යයට ලක් වූ අයෙකි. සිංහල හෝඩියේ සෑම අකුරක්ම යහමින් උච්චාරණය කරන උන්ගේ සිත් මේ තරම් තරුණයාගේ තරම් පිරිසිදු නැත්තේ ඇයි ..? ඉතා අපහසුවෙන් "ද " වළකා ගෙන මා සමග කතා බහේ යෙදෙනා තරුනයා සමග මම ආදරයෙන් බැඳුනෙමි. පැය දෙකක පමණ කාලයක් පුරා ඔහු සමග මොනවා කතා කළාදැයි මතකයක් මට නැත. එහෙත් එය වනාහි රසවත් හොරා දෙකකි. 
"ඔයාට වැඩට යන්න පරක්කු වෙනවා නේද..? " අන්තිමේදී මම ඇසුවෙමි.
"නැහැ..පරක්කු වෙන්නේ නැහැ..."
"ඇයි . ලොක්කා බනින එකක් නැද්ද..?"
"නැහැ..මම කම්පැනියේ ඩිරෙක්ටර් කෙනෙක්.. මමයි බොස්.. "
"ඇයි ඔයා ඔය තරම් සිම්පල්..අපේ අම්මලා වත් දන්නේ නැහැ ඔයා කොම්පැනි ඩිරෙක්ටර් කෙනෙක් කියලා.. ?"
"මට කියා ගන්න බැරි ඔය අකුර නිසා වෙන්න ඇති..එක අකුරක් කියා ගන්න බැරි වුණාම සමාජයෙන් හම්බ වෙන අපහාසය හින්ජා මම වෙනස් වුණා . හෝඩියේ එක අකුරකට පුළුවන් මිනිහෙක්ව වෙනස් කරන්න. "
"ප්‍රසන්න... අපි ආයේ කවද්ද හම්බ වෙන්නේ.."
"ඔයා කැමති ඕන ජවසක..ඕන වෙලාවක..ඔයා කිව්වනේ මම හරි අවංකයි කියලා. ඒක හින්ජා යමක් කියන්න ඕනා.."
"මොකක්ද..?"
"ඔයත් එක්ක කතා කරන කොට මටත් හිතුනා ඔයාගේ පපුව ජිහා බලන්න. බොහොම අමාරුවෙන් තමයි ඉවසගෙන හිටියේ... "
UBER අයියා කෙනෙකු සමග යළි නිවසට පැමිණෙන ගමනේදී මගේ කල්පනා ලෝකය බොහෝ දුර ගමන් කළේය . අවසානයේදී මා බලාපොරොත්තු වුණු මිනිසා මට ලැබී තිබේ. මගේ මිතුරියන් , පවුලේ අය අතරේ ඔහුව හාස්‍යයට ලක් වන්නට පුළුවන. මගේ කටකාර , යක්ෂ මිතුරියන් ඔහුව කට ගැස්මට ගනු නියතය. එහෙත් කාලයාගේ අවෑමෙන් මා වටා සමාජය ඔහුට හැඩ ගැසෙනු ඇත . මට ඔහුව ආරක්ෂා කර ගත හැකිය. ජිවිත කාලයක් පුරාම සිහින මැවූ මිනිසා ට යන්නට නොදී තදින් අල්ලා ගන්නට මම තීරණය කළෙමි .
"ඔය ජර මඩුව ළගින් ජකුණට හරවන්න..." මම UBER අයියාට කිමි. මගේ මුවෙන් "ද " යන්න වෙනුවට "ජ " යන්න පිට වූයේ ඇයිදැයි නොදන්නා මුත් පුදුමයක් සිතේ ඇති වූයේ නැත. UBER අයියා මදෙස බැලුවේය. පුංචි "කින්ඩි " හිනාවක් මුහුණේ මතුව ඇතිවාක් මෙනි. දිගින් දිගටම ඔහු බලා සිටින්නේ මගේ මුහුණ දෙස නොවේ. මගේ පපු ප්‍රදේශයේ දෙසයි. ගවොම් කර තරමක් ඔසවා හැකි පමණ ඒ පෙදෙස වසා ගතිමි.
ප්‍රසන්න තරුණයාට පමණක් එය ප්‍රදර්ශනය කිරීම මගේ අරමුණයි .


Nissanka Rajapaksa

unread,
Dec 12, 2023, 4:47:31 PM12/12/23
to INDRAKA group
43
ධාවනය 

- නාමල් ඩී හෙට්ටිආරච්චි 

දියගොඩ දෙකෙහිම සැරිසරණ වායු පා යානයක් ද? නැතහොත් වායුාගෝලය කපාගෙන යන රොකට්ටුවක්ද ? නැතහොත් ජල තලය මතින් පාවී යන නෞකාවක්ද? ජල තලය කපාගෙන යන බෝට්ටුවක්ද? නැතහොත් ජල ධාරාවන් සිදාගෙන පතුළට කිදා බසින සබ්මැරිනයක් ද? එහෙත් මේ කිසිවක් නොවේ. මෙකී නෞකා සිතාගත නොහැකි විවිධාකාර චලනයන්ගේ වින්දනයටද එසේම කම්පනයටද මුසු වූ අවස්ථාවකත්!! සිතාගත නොහැකියි. විටෙක පක්ෂියකු මෙන් ඉගිල්ලි යයි. විටෙක ඉබ්බෙකු මෙනි. විටෙක මුවෙකු මෙන් පැන පැන යනු දැනේ. මේ අතර මා එක් තැනක සිරවී උත්සාහ කරන්නේ මේ අනේක විද චලනයන්ට ඔරොත්තු දෙන ලෙස මගේ කුඩා ශරිරය පිහිටුවා ගැනීමටයි.

මා බස් රථයට ගොඩවී විනාඩි දහයක් පමණ ගතවිය. මෙම කෙටි කාලය තුළද එහි ධාවනය මට කුතුහලයක් ඇති කළේය. විටෙක ඉතා සෙමින් ධාවනය වන එය හදිසියේම ඉඟිල යයි. නැවත ක්ෂණිකව නවත්වයි.

මම රියැඳුරු තැන දෙස බලා සිටියෙමි. ඔහුගේ හිස පිටුපසින් මට පෙනේ. හිසකේ තඹපැහැතිය. අක්‍රමවත් කෙහෙරැළි ඉහළ සිට පහළට ගෙතී ඇත. ඒවා උරහිස් දක්වා එල්ලා වැටේ. කළු පාට අතකොට බැනියමක් වැනි කමිසයක් හැඳ සිටී.

කමිස අත තුළින් ඉදිරියට පෙනෙන්නේ බාහුවේ කොටා ඇති පච්චයකි. ඔහු නිතරම පිටු පස දැකිය හැකි කණ්නාඩියෙන් පිටුපස බලයි. ඉන් සෑහිමකට පත් නොවී ජනෙල් කවුළුව තුළින් එබී බලයි. හිස කසයි. ඇඹරෙයි.

රිය ධාවනය කරන රියැදුරෙකුගේ සංයමයක් ඔහුගෙන් දිස් වන්නේ නැත. ඔහුට ඇත්තේ මහා අසහනයකි. කලබලයකි.

හදිසියේම තිරිංග තද කිරීමත් සමඟ බස් රථය නතර විය.

“නඟින්න නඟින්න ... ඉක්මනට නඟින්න”කොන්දොස්තර තැනගේ ගෝරනාඩුව ඇසෙයි. එම විධානයද සමඟ හාමත් වුවන් පිරිසක් කෑමට පොර බදන්නා සේ පිරිසක් බස් රථය තුළට කඩා වැදුණේය.

මම අල්ලා සිටි තැනින් ඉවතට තල්ලු වී ගියේ ඉදිරියෙන් එන අධික තෙරපුම දරා ගැනීමට බැරිවීමෙනි. කොන්දොස්තර තැන විධාන දෙන්නට පටන් ගත්තේය.

“යන්න යන්න පස්සට යන්න...ඔය පේලි දෙක මැදින් තව පේලි දෙකකට ඉඩ තියෙනවා. ඔය දොර හිර කරගෙන ඉන්නේ මොකද? ..ඔය පස්සේ ඉඩ තියෙන්නේ ...ඔය රතු ෂර් ට් ඇදගෙන ඉන්න මහත්තයා !! මොකද ඔතනින් පස්සට යන්න බැරිද?

ඔහුගේ එම විධානය එල්ල වුයේ මට බව පැහැදිලිය.

අන් අයගේ දෙනෙත් දිදුලන තරු බුබුළු මෙන් මා වෙතට යොමුවනු පෙනෙයි. ඉතින් මමද හිර වී සිටි පිරිස මැදින් ධ්‍යෛර් ය ගෙන තවදුරටත් පස්සට යාමට උත්සාහ ගතිමි.

සිරවී සිටි මහත කාත්තාවක් ඈත් මෑත් වී යන්තම් ඉඩ දී මා දෙස රවා බැලුවාය. ඇයගේ මුහුණ වට්ටක්කා ගෙඩියක් මෙනි. එයට එබ්බ වූ රතු කැට දෙකක් සේ ඇගේ දෙනෙත් දිලිසේ. මම ඇයගේ කෝපය මුසු නෙත් පසුපසට රිංගා ගතිමි. වේලාව උදෑසන හතට පමණ ඇත. කාර්යාල දවසකි. එබැවින් රාජකාරි පිණිස යන ජනයාද, පාසල් සිසුන් ද ගුරුවරුන්ද අනෙකුත් පෞද්ගලික අංශවල සේවය කරන්නන්ද අනෙකුත් කටයුතු පිණිස යන සියල්ලෝමද බසයට ගොඩවෙන වේලාවකි.

බසයේ සෑහෙන සෙනඟක් සිටින බැවින් අයිනක ඇති අසුනක අත්වාරුව අල්ලා ගැනීමට උත්සාහ කළ නමුත් එය මා අත දැවටුණේ නැත. තවදුරටත් උත්සාහ කළ මුත් උත්සාහය නිශ්ඵල විය. එබැවින් ඉහළ ආධාරක පොල්ලේ එල්ලී ගතිමි. දැන් මම වවුලකු ලෙස එල්ලීගෙන සිටිමි.

“රයිට්.... රායිට්...” කොන්දොස්තරගේ විධානය ලැබුණේය. බසය ඇද්දුවේය. දැන් මා බසයේ ඉදිරියට යන විට පසුපසට පැද්දෙන්නට විය. තිරිංග තද කරන විට ඉදිරියට පැද්දෙයි.

දකුණු අතින් එල්ලි ගෙන වම් අතින් තෙරපි ගෙන සිටින සෙනඟ අත රිංගවා අත්වාරුව සෙව්වෙමි. අත්වාරුව අතට දැවටෙන්නේ නැත. මා අසල සිටින බුරුසුවක් වැනි උඩු රැවුලක් සහිත උස මහත මිනිසෙක් මා දෙස රවා බලා තම පොකැට්ටුව අතගා බැලුවේය. අත් වාරුව අල්ලා ගැනීම අත්හල මා හැකි වීරිය යොදා දෙඅතින්ම ඉහළ පොල්ලේ එල්ලී සිටියෙමි. රියැදුරු තැන තිරිංග තද කළ බැවින් මා ඉදිරියට තල්ලු වී ගියේය. එවිටම නැවත තිරිංග බුරුල් කල බැවින් නැවතත් මා සිටි ස්ථානයටම චලනය විය. කෙසේ හෝ යාන්තම් පා ඇඟිලි ආධාරයෙන් බස් තට්ටුව මත ශරීරය වාරු කර ගතිමි. දැන් බසය වාලුකා යායනයක් සේ ඉදිරියට ඇදෙයි. මට යම් සහනයක් දැනේ. ඉදිරි මාර් ගයේ වාහන තදබදයක් ඇතිවාක් විය හැකිය. මා ඉදිරිය බැලීමටඋත්සාහ කළෙමි. ඉදිරිපස එල්ලි සිටින තැනැත්තාගේ හිස සහ කොන්ද දෙපස හැර කිසිවක් මට නොපෙනේ. අත් දෙකින් වාරු ගෙන එසවෙන්නට උත්සාහ කළ ද උත්සාහය නිශ්ඵල විය. ඉදිරි පස සිටින කෙට්ටු උස මිනිසාගේ කොඳුනාරටියේ දැඩි පහස මට දැනේ. ඔහු තරමක් උස පුද්ගලයකු බැවින් ඉහළ ආධාරක පොල්ල හොඳින් අල්ලාගෙන නොසෙල්වී සිටී. බසය තවමත් සෙමින් සෙමින් ඉදිරියට ඇඳෙයි. ඉදිරියේ වාහන තදබදය තවමත් ඉවර වී නැති බව මට හැඟේ. දැන් මට පෙනෙන්නේ හිසට ඉහළින් ඇති රථයේ වහළ ය පමණි. එහි වහලයේ සවිකර ඇති නාද කිරීමේ බොත්තමක් මට පෙනේ. එය සුදු පැහැති නෙරීමක් ලෙස මට පෙනේ. එය ඉහලට තද කළ විට සීනුව නාද වනු ඇත. එම බොත්තම කිසි ලෙසකින් දුර් වර්ණ වී නැත.

එයට අමතරව ඒ අසලින්ම නිල් පැහැති නයිලෝන් ලණුවක් ඇද තිබේ. එයට සීනුවක් සම්බන්ධ කර ඇත. එය බස් හිමියා විසින් කළ සම්බන්ධ කිරීමක් ලෙස සිතා ගත හැකිය .

එය ගාංචුවක් මෙන් ගෙවී ගොස් ඇති අතර දැවටී තිබෙන්නේ කෙඳි කිහිපයකිනි. කැඩී යාමට ඉතා ආසන්නය. මඟීන් වැඩි වශයෙන් නාද කිරීමට යොදා ගන්නේ බොත්තම නොව නයිලෝන් ලණුව විය යුතුය.

එය උස අඩු මා වැනි අයට හොද විකල්පයකි. මේ මිහිරි සහ අමිහිරි වින්දනයන් සහ සිතුවිලි මැද සිටි මා නැවතත් බස් රථය වම්පසින් ඉස්සර කරන ලදින් මා පැත්තට පැද්දී ගියේය.

හදිසියේම රථය මා පෙර කියූ පරිදි පක්ෂියකු ලෙස ඉඟිලෙන්නට පටන් ගත්තේය. තවත් බස් රථයක් තරගයට පැමිණ ඇත් බව පැහැදිලිය. රියැදුරු තැන තවත් වේගය වැඩි කළේය. ගියේ ටික දුරකි.

නැවතත් තිරිංගය තද කලෙන් පීඩනය දරාගත නොහැකි වූ බැවින් යන්තම් බස් තට්ටුවේ ගැටී තිබූ පාද ලිස්සා ගිය අතර වවුලකු සේ පැද්දී ගොස් මා ඉදිරිපස මිනිසාගේ ගැටිනි.

“ඇයි මොකද? ...කෙලින් ඉන්න බැරිද?”

“ නෑ මේ සමාවෙන්න”

නැවත බස් රථය ඉදිරියට ඇද්ද බැවින් පස්සට පැද්දි යන්තම් පාද දෙක බස් තට්ටුවේ රඳවා ගැනීමට ඉඩ ලැබිණි.

දැන් මා මේ බස් රථයට ගොඩ වූ මෝඩකම යැයි හැඟේ. එහෙත් මොනවා කරන්නද?. කෙසේ හෝ රාජකාරියට වෙලාවට යා යුතුය.

ප්‍රමාදය සහ අපහසුතාවය රාකාරියට නිදහසට කරුණු නොවේ. මේ මාසයේ නිවාඩු ද ඉවර වී ඇත. ඇඟිලි සලකුණු යන්ත්‍රය ද ප්‍රමාද නොවී නිසි වේලාවට ක්‍රියාත්මක වේ.

කෙටි නිවාඩු ද අහවර වී ඇත. එනිසා ප්‍රමාද විය නොහැකිය. වෙන බසයකට ද ගොඩවී යාමට කාලයක් නැත. එනිසා කෙසේ හෝ ඉවසා සිටීමට තීරණය කළෙමි.

බසය ඊළඟ නැවතුමේ නතර විය. කොන්දොස්තර පසු පස දොරෙන් සෙනඟ පැටවීමට පටන් ගත්තේය.

“දැන් ඔය පේලි දෙක අතරින් පේලියේ තවත් ඉඩ තියෙනවා. ඔය ඉස්සරහා රතු ටී ෂර් ට් එක ඇඳගෙන ඉන්න මහත්තයා ඉස්සරහට යන්න.”

ඔහුගේ අවධානය යොමු වන්නේ මාවෙතටද? මාගේ ඇඳුමේ වරදක් ද? නැතහොත් මාගේ වෙලාවේ වරදක් ද? කෙසේ නමුත් රතු ටී සර්ට් එක ඇඳ නැවත බස් රථවල ගමන් නොකිරීමට තිරණය කළෙමි.

“බස් එක මැද්දේ තව කොච්චර ඉඩ තියෙනවද? ...ඔය පුට් බෝඩ් එකේ ඉන්න කට්ටිය උඩට ගොඩවෙන්න.. ගොඩ වෙන්න ... ආ....රයිට්.... යාං..!”

කොන්දොස්තර තැනගේ සූර බව පිළිබඳ මට කල්පනා වේ. ඔහු ඉදිරිපසින් මෙන්ම පිටුපසින් ද සෙනඟ පටවයි. දැන් පසු පසින් ද තදබදය එන බැවින් මා තදින් හිර වෙන්නට විය.

මගේ පසු පසින් ද කුඩා සිරුරක් ඇති තැනැත්තෙකු මට සිර වී ඇත. මට පැත්තෙන් සිටින උස මහත මිනිසා ප්‍රතාපවත් අයුරින් ඉහළ පොල්ලේ මෙන්ම ආසනයේ ඇති අත්වාරුවද අල්ලාගෙන වීරයකු සේ සිටී.

හැම විටකම පීඩනය එල්ලවන්නේ බැරි එකාටම ද? අහිංසකයාට ද? එය සමාජයේ නිතීයක්ද? එසේවිය යුතුද? එසේ වන්නේ ඇයි? මට නොතේරේ.

රියැදුරු තැන තිරිංග තද කරමින් බුරුල් කරමින් තම යානය පදවාගෙන යයි. හතර අතින් ම මා තද වී ඇති බැවින් දැන් මා එහාට මෙහාට පැද්දෙන්නේ නැත. තවම ඉහළ ආධාරක පොල්ලේ එල්ලී සිටින අතර පාද දෙක යන්තම් තට්ටුවේ ගෑවී ඇත. දැන් මගේ අත් රිඳුම් දීමට පටන් ගෙන ඇත. පෙර පැමිණි සුළං පාර වදින්නේද නැත. බසයේ උණූසුම ද ක්‍රමයෙන් වැඩි වේ.

ගත දහඩිය බිංදු එකිනෙක වැඩිවේ. හරිම අපහසුවක් දැනේ. ක්ලාන්ත වේගන එන සේයාවකි. එහි ඇති නාද කිරිමේ ලණුව බොඳ වු සේයාවක් සේ මාගේ නෙත ගැටේ. එය ඇදගෙන ඇදගෙන යන්නට මට සිතේ. නමුත් මාගේ අත දිග නැත.

මා එහාට මෙහා ඇඹරෙන විට බුරුසු රැවුල ඇති මහත මිනිසා නැවතත් රවා බැලුවේය. මම ආවේගය මැඩ ගත්තෙමි.

“රන්ජන් දොළ ළඟ හන්දියේ... අපි කඩා ගන්න ඕනෑ.”

“ගඩුගුඩාත් ...!! පස්සෙන් හොඳ ද...?”

කොන්දොස්තර තැන රියැදුරු තැනට කියනු ඇසිනි. දැන් රියැදුරු තැනගේ කලබලය තවත් වැඩි විය.

වාහන අතරින් රිංගා ඉදිරියට යාමට උත්සාහයක යෙදේ. පසු පසින් එන එදිරිවාදි කාරයා ද ළඟ ළඟ එන බව දුටු ඔහුගේ නොරිස්සුම් මුහුණ ඉහළින් එල්ලා ඇති දර්පනයෙන් මට පෙනේ.

දත විකාගත් ඔහු එදිරිවාදි කාරයාට ඉස්සර වීමට ඉඩ නොදී පාර මැද නතර කළේය. මඟියා ඇඟේ ලේ වතුර කරන් ගමන යායුතුය.

“නගින්න....නගින්න....ඉක්මන් කරන්න....ඉක්මන් කරන්න‍...”

කොන්දොස්තර තැන නැවත කෑ ගසනු ඇසේ. ඉදිරියට යාමට නොහැකි වූ පසු බසය නොනවත්වාම හෝන් ගැසීමට පටන් ගත්තේය. දැන් එකම ගෝරනාඩුවකි. හෝන් හඬ සමඟ මුසු වූ නන්ස්ටොප් කැසට් යන්ත්‍ර යේ හඬ ද මුසු වී මගේ කන් දෙදරවන්නට විය. මුළු ගතම දහඩියෙන් තෙත් වී ඇත.

බෙල්ලේ සිට බේරෙන දාඩිය වැල පාද දෙක ඔස්සේ බේරී වැටෙනු දැනේ. ක්ලාන්ත වීම නිසා වැටෙයි ද? ඉවසා සිටිය නොහැකි තැන කන්දෙකේ ඇඟිලි ගසා ගන්නට උත්සාහ කළෙමි. එවිට ම මුදා හළ හොත් වන විපාකය සිහිපත් විය.

කුමක් කරන්නද කළ හැකි කිසිම දෙයක් නැත. ඉවසා සිටියෙමි. රියැදුරු බසය ගස්ස ගස්සා එදිරිවාදි කාරයාට ඉස්සර කරන්නට ඉඩ නොදී ඉදිරියට යන්නට පටන් ගත්තේය. පසු පසින් එන අනෙක් එදිරිවාදි බසය ද තරඟයට මෙන් පසු පසින් පැමිණේ. දැන් කොන්දොස්තර තැන ආවේශ වූ කපුවෙකු සේය.

“අන්න අරූ පස්සේන් එනවා...අත අරින් එපා.. දකුණට දාලා යං...ඉඩ තියන්න එපා..” කොන්දොස්තර තැන රියැදුරු තැනට නියෝග කළේය. බසය වේගයෙන් ඉදිරියට ඇදෙයි. සෑම දෙනාගේම මුහුණු භීතියෙන් සලිත වී ඇත. සෑම දෙනාම එකි නෙකා දෙස බලමින් ඇඹරෙයි.

ඒ අතර උන් එඩිතර මඟීයෙක් “ටිකක් පරිස්සමෙන් යං ...මේකේ මිනිස්සු නේද ඉන්නේ...”කියනු ඇසිනි.

“හෙමින් පරිස්සමෙන් යන්න පුළුවන්. එතකොට තමුසෙද මේකට ෆිනෑන්ස් ගෙවන්නේ. අනික සෙනඟ ඉන්න වෙලාවේ පටව ගන්න ඕන. කොන්දොස්තර ප්‍රතිඋත්තරය දුන්නේය. මඟියා නිහඬ විය.

අතොරක් නැතිව දෙදරන නන්ස්ටොප් කැසට් සද්දය මහා ගෝරනාඩුවකි. කැසට් යන්ත්‍රය අමුණා ඇති වයරය මගේ දෑසට පෙනෙයි. වම් පසින් මෙන්ම දකුණු පසින්ද ඉස්සර කරමින් තම එදිරිවාදියාට පාර හරස් කරමින් බසය ඉදිරියට ඇදෙයි. යාමට හැකි වුයේ ටික දුරකි. විසිල් හඬක් ඇසිණි.

“අයින් කර නවත්වනවා බස් එක. ඔහොමද පාරේ යන්නේ..!! දෙනවා ලයිසන් එක....” පොලිස් නිලධාරීන් විසින් බසය නතර කර ඇත.

"හොඳ වෙලාවට පොලීසියෙන් නතර කළේ!! නැත්නම් ආපු විදිහට අපට වැඩි දුරක් යන්න වෙන්නේ නෑ!!” මඟියෙකු කියනු ඇසිණි.

“මේකේ මිනිස්සු ඉන්නේ!! පරිස්සමෙන් යනවා හොඳ යි.... පොලිසියෙන් අවවාද ලැබිණි.‍ ලයිසන් එක ගන්න පොලීසියට එනවා!!...”

පොලිස් නිලධාරියා රියැඳුරුගේ බලපත්‍රය රඳවා ගත්තේය. ඉන් පසු රියැදුරු තැනගේ ආවේශය ද කොන්දොස්තර තැනගේ පිස්සුව ද අඩු විය. බසය විධිමත් පරිදි ධාවනය වන්නට විය.

“බොරුවට නේද දඟලන්නේ..ඔය විදිහට ආවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නෑනෙ. අපිටත් හොඳයි .ඔයාලටත් හොඳයි...”

ඉදිරියේ සිටි මඟියෙකු පවසනු ඇසිණි. මගේ හිතට පුදුම සහනයක් දැනිණි. බසය ජලය මත පාවෙන නෞකාවක් සේ ආඩම්බරයෙන් චලනය වනු දැනේ.

 https://archives1.silumina.lk/2020/05/16/%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%92/%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA


Nissanka Rajapaksa

unread,
Dec 13, 2023, 6:30:18 PM12/13/23
to INDRAKA group
44
ආදරයට හපා කෑම..... 

- මංජුල සේනාරත්න 

දෑස පියා ගත් විට දෙනෙත් යට ඇති අඳුර මට ප්‍රියය. යතාර්ථය දෙස බලන්නට මට නොසිතේ. ජීවිතය මා දෙස බලා සිටියි. මට සරදම් කරයි. 

දෙනෙත් විවිර කරන මට සේපාලිකා ගේ මුහුණ පෙනේ. මොහොතකට මදෙස බලා සිටින ඇය පෙර දී සිටි රස කාර්යයේ යෙදෙන්නට පටන් ගත්තාය. 
මේ වසරේ ග්‍රීෂ්මය  කළින් පැමිණ ඇතිවාක් මෙනි. අප්‍රේල් මාසයේ හිරු මෙතරම් දරුණුව බැබලුනු කාලයක් මට මතක් නැත. දහදියෙන් පෙඟී ඇති සිරුර වදයකි. නාන කාමරයට වැදී දහදිය පටලය සෝදා දමන්නට සිතුනත් සිරුර මනසේ පාලනයෙන් තොරවී තිබේ. නීතිමය නොවන ඇගේ පහසින් මත්වී සිටින මට විශ්වය නාඳුනන තැනක් මෙන් හැඟේ .

අප දෙදෙනාගේ පෙම් රැඟුම් ගැන දන්නෝ කිසිවෙක් නොවෙති. එය ප්‍රසිද්ධ වේදිකාවක රඟන්නට නොහැකි, රැඟුම් පාලක මණ්ඩලයේ කතුරට හසුවන, වාරණයට ලක් වන නාටකයකි. ඇය සමග ගත කරන මොහොත දෙස සමාජය පාලනය කරන්නෝ  ප්‍රේක්ෂකාගාරයේ බලා සිටින්නේ ය යන හැඟීම නිසා මම නිතරම දෙනෙත් පියා ගනිමි. සේපාලිකා කෙරෙහි  සිතේ හට ගනිමින් තිබෙනා සිතුවිළි ආදරයකට පෙරළෙන්නට ඉඩ නොදී සඟවා ගන්නට මා දරනා උත්සාහය විශාල එකකි. නමේ අරුත කියන්නාක් මෙන් ඇය මලකි. නොහිම් සුවඳැති මලකි. මුදු මොලොක් වස්තුවකි. රූමත්ය. එහෙත් ඇය දෙවැනි ගැහැනියකි. අප අතර සිදුව එමින් තිබෙනා මේ රංගනය වනාහී, දුටු තැන විනාශ කරන්නට ඒකාධිපති පාලකයෙකු විසින් නියෝග නිකුත් කර ඇති රහස් සිතුවමක් වැන්න. 

ඇය ගෞරවයට ලක් විය යුතු ගැහැනියක් යැයි මට සිතේ. එසේ නම් කළ යුත්තේ ඇයට බලාපොරොත්තු නොදී, ඇයව ප්‍රයෝජනයට නොගෙන ඇයව හැර ගොස්, ඇගේ ජිවිත ගමන ගෙනයන්නට  ඉඩ දීමයි. එහෙත් සාමාන්‍ය, එදිනෙදා ජීවිතයේදී ඔබට හමුවන පිරිමියෙකු වන මට එවැනි පරාර්ථකාමී සිතුවිළි පහළ වන්නේ නැත. ඇය  මට ප්‍රේම කරන්නේදැයි නොදනිමි. එහෙත් මා ඇයට සුදුසු මිනිසෙක් නම් නොවේ. දෙවැනි ගැහැණු ඇසුරු කරන පිරිමින් සඳුන් අරටු වලින් ගිනිමැල ගසනා මුග්ධයෝ මෙනි. එහෙත් වයස අවුරුදු හතළිහ පසු කළ පසු සිරුර ඉල්ලා සිටිනා තාරුණ්‍යය සොයා යන්නට තීරණය කළ පළමු පිරිමියා මම නොවෙමි. අවසන් තැනැත්තා ද නොවෙමි. ජාලිය සමරදිවාකර වන මම නියෝජනය කරන්නේ වත්මන් සමාජයේ බහුතර පිරිමියා ය. 
ඇය තමා යෙදෙනා කාර්යය හොඳින් දන්නා තැනැත්තියකි. ප්‍රේමාලිංගනය කලාවක් නම් ඇය එය හොඳින් හදාරා ඇති අයෙකි. නියත වශයෙන්ම ඇය ඒ වෙනුවෙන්  ඩිප්ලෝමාවක් හිමිකර ගෙන සිටිනවා විය යුතුය. පිරිමියාගේ පාලනය තම අතට ගන්නා ඇය ඔහුගේ සිරුරත්, මනසත් වලාකුළු අතරේ පා කර යවන්නට සමත් වෙයි. දිය ඇලි, කඳු වැටි, හිම වැසි මැදින් ඔබව කැඳවාගෙන යන මේ අරුම ගැහැනිය අවසානයේදී තමන්ගේ ගොදුර මාරුතයකට හසු කරයි. එහි ගසා ගෙන යන්නට සලස්වයි. පැහැයෙන් නිල් පැහැ වුව ද වේගයෙන් ගලා යන සැඩ පහරකට හසු වී ගිලෙන්නට යන  මොහොතක දිවි ගලවා ගන්නා අටියෙන් පිදුරු ගසක් සොයන ඔබට හසු වන්නේ ඇයගේ ගෙල දක්වා වැටි ඇති , දහදියෙන් තෙත් වුණු  කෙස් වැටියයි. නැගෙන වේදනාව ඇයට ප්‍රීතියකි. 

වේගයෙන් ගලා ගොස් , ඉවුරු අතර ඒ මේ අත මාරු වී, අවසානයේ දිය අල්ලකට හසුව පහළට වැටී, අනතුරුව හෙමින් සීරුවේ ඇදෙනා ගං දියේ පාවෙන්නට පටන් ගත් පසු ඔබ ඔබගෙන්ම අසා ගන්නා ප්‍රශ්නය වන්නේ මේ ගෑනි මේවා කොහෙන් ඉගෙන ගත්තා ද යන ප්‍රශ්නයයි. එහෙත් එවැනි අනුවන ප්‍රශ්න ඇසීමේ උවමනාවක් මට නැත. නොමිලේ ලැබුණු අස්සයාගේ දත් බැලීමේ පිස්සුවකින්  මම නොපෙළෙමි. 

මොහොතකට පෙර අපේ සිරුරු හසුවුණු දිය සුළියේ වැඩි වෙහෙසකාරිය ඇය වුණත් මගේ දෙනෙත් බර විය. පුංචි නින්දක් සිරුර ඉල්ලා සිටින්නාක් වැනිය. විවර කර ඇති කවුළුවෙන් නැවුම් සුළගක් විත් බිත්තියේ එල්ලා ඇති කැලැන්ඩරයේ කඩදාසි සොලවන්නට පටන් ගත්  මොහොතේ, මගේ යැයි කිව නොහැකි රූමතියක් ලමැද ට හිස තබා ගෙන කරදරකාරී කෝඳුරුවෙක් මෙන් මොනවාදෝ මුමුණන මොහොතේ කිසිදු විටක දෙවැනි ගැහැනියකගේ යහනේදී නොකළ යුතු දෙයක් මම කළෙමි. එනම් නිදන්නට යැයි සිතා දෙනෙත් වසා ගැනීමයි. 
මගේ දෙනෙත් පියවී, යාන්තමින් නිදි සේයාවක් පැමිණ මනස වසා ගත් විට, ඒ දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජන  ගන්නට සේපාලිකා සිතන්නට ඇත. පපුවේ වම් පෙදෙසේ කඩියෙකුගේ පහරදීමක් වැනි හැගීමක් දැනෙන්නට වූ විට නෙත් විවර කරන මා දුටුවේ කඩියෙකු නොවේ. සිනා සෙමින් මදෙස බලා සිටිනා මගේ දෙවැන්නියයි . 
"ඔයාට මම ලව් බයිට් එකක් තිබ්බා...." ඇය කීවාය. ඇගේ මුහුණ අහිංසක සුන්දර සිනහවකින් පිරී තිබුණි. එක් වරම මගේ සිතට නැගුණේ කෝපයකි. දෙවනුව සැනසුම් සුසුමක් පිටවිය. මුලින් කෝපයක් ඇති වන්නත්, දෙවනුව සැනසුම් සුසුම් හෙලන්නටත් හේතුව කියමි. 
සේපාලිකා මට මුණ ගැසුණේ කඨීන පිංකමක් අවසානයේදී ය. කුමක්දැයි මතකයේ නැති අසනීපයක් නිසා  ඒ පිංකමට මගේ බිරිඳ ගයාත්‍රි සහභාගී වූයේ නැත. එදා පිංකමේ වැඩි අවධානය දිනා ගත්තේ සේපාලිකා බව මට මතකය. ඇය පංසලට පැමිණ සිටියේ මුල් වතාවටයි. පිංකමේ කාර්යයන් දැහැමෙන් සෙමෙන් සිදුවෙමින් තිබෙනා අතරේදී පන්සල පුරා පැතිර ගිය ඕපාදුප සහ කටකතා වලට අනුව ඇය ග්‍රීසියේ රැකියාවක නිරත වී සිට, මෑතකදී පැරිසියට පැමිණි අයෙකි. වයස අවුරුදු තිහක් පමණ වූ සේපාලිකා සැවොම සමග කුළුපග කතාවට උත්සාහ කළත් , කොරෝනා වෛරසය රැගෙන චීනයෙන් පැමිණි අයෙකු වෙතින් ඈත් වන්නාක් මෙන් බොහෝ දෙනා ඇයව දුරස්ථ කළහ. ඇය රූමත් ගැහැනියකි. දෙවරක් හැරී බලන්නට සිතෙනා ජීවමාන පිළිරුවකි. දෙනෙතට කඳුළු කැන්දාගෙන එන ඔපෙරාවකි. අතීත සුවඳ මතක් කර දෙන ගීතයකි. පිරිමින් මනසින් නිරුවත් කරනා සිරුරක් ඇයට හිමිය. එදින පංසලේ දී පිරිමි අපි හැමෝම සිල් බිඳ ගත්තෙමු. ගැහැනු හැමෝම ඊරිසියාවෙන් පුපුරන්නට වූහ . කිසිම පිනක් කිසිවෙක් නොලැබූ  කඨීනයකි එය. 
පිංකම අතරේ  මගේ දෙනෙත් ඇගේ සිරුරේ තැනක රැදී තිබුණු මොහොතක දුරකථනය නාද විය. බිරිඳ ගයාත්‍රි කියා සිටියේ හැකි තරම් ඉක්මනට පැමිණෙන ලෙසයි. ඉක්මනට ගියොත් හාමුදුරුවෝ තරහා විය හැකි බවත්, තවමත් නොකෑ බව කියමින් ඇය සමග විවාදයක පැටලෙද්දී සේපාලිකා පංසල් බිමෙන් පිටවන අයුරු මම දුටුමි. මගේ වාහනය වෙත පැමිණ එය පන ගන්වා ගෙන පාරට පිවිසෙද්දී ඇය පෙනෙන්ට සිටියේ නැත. අන්තිමේදී ඇයව දැක ගත හැකි වුයේ  බස් නැවතුමේදිය.  
"නංගි පංසලේ හිටිය නේද...?"
"ඔව් අයියා ... "
"කොහෙටද යන්නේ මම ගිහින් දාන්නම් ..." ඇය වාහනයට නැගුණේ ළගම තියන දුම්රිය පළට බැස්සුවාම ඇති කියමින් වුනත්, මම ඇයව බැස්සවූයේ පැරිසියේ ඇගේ නවාතැන අසළදී ය. චිත්‍රපටයකදී මෙන් කෝපි කෝප්පයක් බොන්නට ඇය නවාතැනට එන්නට මට ආරාධනා කළේ නැත. එහෙත් දුරකථන අංක හුවමාරු කර ගතිමු. කතාව ආරම්භ වූයේ ඒ අයුරිනි. සිදුවූ සියල්ල මෙහි කියන්නට නොහැකිය. කම්මැලි ය. මුල් හමුවීමෙන් මාස තුනකට පසු මගේ සිරුර මාරුතයකට හසු කර පපුවේ "ලව් බයිට්" එකක් තබන තත්වයට ඇය පත්ව සිටියා ය. ඇය මට ආදරය කළාදැයි නොදනිමි.  මම ඇයට නොව ඇගේ සිරුරේ පහසට ආදරය කළෙමි . ඇයට නොව ඇගේ කොමල කතා වලට ආදරය කළෙමි. ලොවටම හොරෙන්, මුසා සියයක් පවසා සේපාලිකාව හමු වන්නට යන සෑම වතාවකදී ම මෙය අවසන් වතාව යැයි මටම පොරොන්දු වීමි. ජිවිතයේ කිසි  දිනක මම එසේ පොරොන්දු කඩ කර නැත.
  මා විවාහ වී දියණියකගේ පියෙක් බව ඇය දැන සිටියාය. එය ඇයට ගැටළුවක් වූ බව පෙනෙන වගක් නොවුණි. ඇය මවෙතින් බලාපොරොත්තු වූයේ මොනවාදැයි නොදනිමි. ඇගේ රූපයට කැපෙන "පොරක් " පැරිසියේදී සොයා ගැනීම අපහසු නැත . තමන්ට වඩා අවුරුදු 12 කින් වැඩිමහලු (එහෙත් කඩවසම්, ප්‍රේමනීය) මා සමග සම්බන්ධයක් ඇති කරගැනීමේ පාපය ඇය දැන සිටින්නට ඇත. ඇය මෝඩියක්  නොවේ. අපේ මේ රහස් ඇසුර මගේ නීතිමය කුටුම්බයෙන් සඟවා තබන්නට මා ගන්නා උත්සාහය ගැන හොඳින් දැන සිටි සේපාලිකා මගේ පපුවේ ලව් බයිට් එකක් තැබීම හරකෙක් තාවකාලිකව හංවඩු ගැහුවා වැනි වැඩකි. මේ ලව් බයිටය සමග ගෙදර යන්නේ කෙසේද..? ගයාත්‍රි ඉදිරියේ කමිසය ගලවන්නේ කෙසේද..? 
"ඔයාට මම ලව් බයිට් එකක් තිබ්බා...." ඇය අහිංසක ලෙස කියද්දී මම කෝප ගත්තේ නිවසට යන්නේ කෙසේද යන්න සිතා ගත නොහැකිවයි. එහෙත් මේ මොහොතේ බිරිඳ නිවසේ නොමැති බවත්, ඉඩම් නඩුවක් විසඳා ගැනීමට ඇය දියණිය ද කැටිව මව් බිමට ගොස් ඇති බවත් පසක් කර ගත් පසුය මම සැනසුම් සුසුමක් පිට කළේ . ඔවුන් යළි එන්නේ දින හයක් ගිය තැන සෙනසුරාදා ය. ඒ වන විට ලව් බයිටය පැරිස් අහසට වාෂ්ප වී යනු නියත ය. 
යන්තමින් දොර විවර කර ජිරාෆයෙකු මෙන් ගෙල පිටත දමා, දන්නා හඳුනන ගෝතයෙක් අසළින් ගමන් ගන්නේ දැයි විපරම් කර, පිටත බැස  ගත් මා පාපතර සිතුවිළි නිදහස් කරන්නට සිතා දුම්වැටියක් දල්වා ගතිමි. ඊයේ රාත්‍රියේ කතා කළාට පසුව ගයාත්‍රි ට කතා කළේ නැත. දෙවන ගැහැනිය ගේ නිවසින් පිටවී විනාඩි පහක් යන්නට කළින් බිරිඳට දුරකථනයෙන් කතා කිරීම තරමක් අපහසු බව සැබෑවකි. එහෙත් මම Method Acting ගැන දන්නා නළුවෙක්මි. කෙටියෙන් කියන්නේ නම් සාමාන්‍ය පිරිමියෙකි .
"හෙලෝ ගයා..."
"ජාලිය...? මොකද මේ වෙලාවේ.."
"ඇයි මොකෝ...කොහේ ද ඔයාලා ඉන්නේ...?"
"ගෙදර..ඇයි ...?"
"එහෙනං ඔය එයාර් පෝට් එකේ එනවුන්ස්මන්ට් එකක් ඇහෙන්නේ...." ගයාත්‍රී නිහඩ වූවාය . ඇගේ නිහැඩියාව මා මරා දමන්නට සමත්විය. මගේ දෙපා වෙව්ලන්නට පටන් ගත්තේය.
"ජාලිය...සොරි අනේ..අපි දෙන්නට ඕනා උනා ඔයාට සර්ප්‍රයිස් එකක් දෙන්න..එකයි අපි ඔයාට නොකියා ආවේ...."
"තාත්තී .... අපි ඩුබායි ඉන්නේ...." දියණියගේ කටහඩ ඇසේ ...
"අපි ඉන්නේ ඩුබායි අනේ.... දැන් නගිනවා.. පැය හයෙන් එනවා... කොහෙද සර්ප්‍රයිස් එක නැති කළානේ ඔයා..."
"මම.. ගයා.. ඔය වගේ සර්ප්‍රයිස් දෙනවද...? බය හිතෙනවා... ඒ  කියන්නේ පැය හයෙන් පැරිස් එනවා....? "
"ඔව් අනේ... බය වෙන්න එපා. අපි ටැක්සියක් අරං එන්නම්... මේ මම තියනවා... අපි දැන් බෝර්ඩ් වෙන්ව...."

ළගම තිබුණු ගල් බැම්මේ මම වාඩි ගතිමි. මා ඉදිරියෙන් ඇවිද යන පැරිස් දනා මට පෙනුනේ කිසි දිනක නොමැති වූ සතුටකින් හැසිරෙන්නාක් මෙනි. එකදු මුහුණකවත් සන්තාප සේයාවක් නැත්තේ මගේ සිත බරපතළ ගැටලුවකට මැදිවී සිටින නිසා විය යුතුය. සියල්ලෝ මට සිනහසෙති. ගයාත්‍රී සහ දියණිය පැය  හයකින් නිවෙසට පැමිණෙයි. අධික ශීත කාලයක වුවත් රාත්‍රී නින්දට යද්දී බැනියම ගලවා උඩුකය නිරුවතින් නින්දට යාම මගේ පුරුද්දයි. එය පුරුද්දක් නොවේ. එසේ නොකරන්නේ නම් නින්ද නොයයි. මේ ලව් බයිටය නිසා බිරිඳ ඉදිරියේ බැනියම ගලවන්නේ කෙසේද...? අනෙක් අතට සති දෙකකින් මා නොදක සිටි ඇයට වෙනයම් ආශාවක් ඇති වුනෝතින් බැනියම ගලවන්නට සිදුවෙයි. 
"මම බැනියම ඇඳගෙන ඉන්නද..? ලැජ්ජයි..." කියන්නට නොහැකිය... මුහුණු පොතේ සියක් පමණ වූ කාන්තා කණ්ඩායම් වල සැරිසරනා ඇය මේ ලව් බයිටය ලෙහෙසියෙන්ම හඳුනා ගනු ඇත. "මා නිවසේ නැති අතරේ කවුරුන් හෝ පැමිණ තිබේ.. කවුරුද ආවේ නිවසට... කියමින් ඇය කැණිමඩල (සීලිම) ගිනි තියනු ඇත. 
මා ඉදිරියේ ඇත්තේ ෆාමසියකි. එහි ඇතුළු වී මෙයට ගාන්නට බේතක් ඉල්ලා සිටින්නට සිතේ. එහෙත් එය පැහැදිළි කරන්නේ කෙසේද...?
"පොඩ්ඩක් පෙන්වන්න පුලුවන්ද...?" එහි කාන්තාව අසන්නට ඉඩ තිබේ.
"බැහැ ..නිකං සතෙක් ගේ දත් පාරක් වගේ..."
"මොන වගේ සතෙක්ද...? ගෙදර ඇති කරන හුරතල් සතෙක්ද...හාවෙක් වගේ..." මෙවැනි ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නට මට නොහැකිය. කළ යුත්තේ කුමක්ද..? මෙලොව පාලන දෙවි කෙනෙකු සිටිත්නම් මේ මොහොතේ මා වෙත බැල්මක් යොමා, බිරිඳට හැරෙන්නට කුරා කූඹියෙකුට වරදක් නොකළ මා ගලවා ගනු ඇතැයි සිතුවා පමණි දුරකථනය නාද විය. එහි සිටියේ මගේ ගැලවුම් කරුවාය. මගේ හොඳම මිතුරා අකිල ය. 
සේපාලිකා සමග යහන ගත වීමේ පාපකර්මය මා හෙළි කර ඇත්තේ ඔහුට පමණි. එහෙත් මගේ කරුමයට එදා පටන් ඒ ගොනා මගෙන් ඈත් වන්නට පටන් ගත්තේ වැරදි වැඩ වලට උපකාර කළ නොහැකි බව කියමිනි. අපේ නිවසට පැමිණ ගයාත්‍රි ගේ ආගන්තුක සත්කාර ලබනා අතරේ මෙවැනි දෙයකට උදව් කිරීමෙන් ඇගේ මුහුණ බලන්නට නොහැකි බව ඔහු කිවේ ය. අකිල ගොන් වැඩ කරන බව සැබෑය . එහෙත් ඌ මට වඩා සදාචාර සම්පන්න අයෙක් යැයි මට සිතුණි. මා සේපාලිකා ඇසුර ලැබුවාට  පසු ඔහු කතා කරන්නේ කළාතුරකිනි. මේ එවැනි දුලභ අවස්ථාවකි.
"මචං අකිල. උඹ දෙවියෙක් වගේ කතා කෙරුවේ.. මට උදව් කරපං මචං ..ලොකු අමාරුවක වැටිලා ඉන්නේ....?"
"ඇයි මොකද හොරේ අහුවුණා ද ...ගයාත්‍රී ලා ආවේ නැහැ නේද...?"
"නැහැ.. තව පැය හයකින් එනව.. මම ලොකු අමාරුවක වැටිලා ඉන්නේ..."
හැකි පමණ කෙටියෙන් මගේ කරදරය පැහැදිළි කළ විට අකිල ගොනා කළේ මහා හයියෙන් හිනා වීමයි. විනාඩියක් පමණ පැවති ඒ වියරු සිනහව අවසානයේ  පැයකින් අපේ නිවසට පැමිණෙන බව ඔහු කිවේ ය.
නිවස වල්  කැලයකි . ගයාත්‍රී ලා එන්නට දිනකට පෙර එනම් සිකුරාදා දවස පුරාම පිරිසිදු කිරීම් කරන්නට සිතා සිටි මට පැයකින් දෙකකින් ඒ කාර්යය නිම කරන්නට සිදුව තිබේ. පිස්සෙක් මෙන් ඒ මේ ඇත දුවමින්, ඒ අතරම කන්නාඩියෙන් මගේ සුදු හමේ ඇති ලව් බයිටයේ විකාශනය, පැතිර යාම, සහ වර්ණ වෙනස් වීම ගැන සැළකිලිමත් වෙමින් සිටිද්දී දොරේ සීනුව නාද විය. මගේ දෙවියා පැමිණ සිටියේය. 
"මචං මේකට පිළියමක් හොයලා දුන්නොත් උඹට මම ජිවිතේ උනත් දෙනවා. ප්ලීස් මචං..." මගේ මිතුරා අකිල වනාහී ගොන් අදහස් දරන්නෙකි. එහෙත් ඔහු තැනේ හැටියට ඇනේ ගහන්නට දන්නා, උත්තර නැති ප්‍රශ්න වලට පිළිතුරු සොයන්නට සමත් විස්ම කර්මයෙකි.
"ගලවන්න ඔබේ කමිසේ... කට අරින්න... ආ කියන්න...." ඔහු මුලින්ම වෛද්‍ය වෙස් පාමින් කීවේ ය. ලව් බයිටය දුටු විගස යළිත් හිනාවෙන්නට පටන් ගත්තේ ය. 
"මචං කව්ද බං .... උඹට ෂුවර් ද මේ මනුස්ස දුවක් කියලා.... මාර හැපිල්ලක්නේ ..." යනුවෙන් පවසා හිස කසමින් සාලයේ ඒ මේ අත ඇවිදින්නට පටන් ගත්තේ ය.
"මේ උඹ නිකං ෂර්ලොක් හෝම් වෙන්න හදන්න එපා... මේකට උත්තරයක් හොයපන් .... තව පැය හතරයි තියෙන්නේ...."
"හරි උත්තරයක් තියනවා. .. මෙහෙමයි. උඹ දන්නවනේ එක මිනිහෙක් ගෙන් දෙයක් අපි බලා ගෙන කළොත් ඒක කොපි කළා කියනවා. කීප දෙනෙකුගෙන් බලා ගෙන කළොත් ඒක RESERCH කියනවා.."
"සිංහලෙන් කියනවද....?"
"දැන් බලපං ..මෙතන මේ ලපේ ලව් බයිට් එකක් කියළා අපිට පේනවා...නමුත් හිතපං මේ වගේ ලප දහයක් පහළොවක් පපුවෙයි පිටෙයි කීප තැනක තිබ්බොත් කිසිම කෙනෙකුට කියන්න බැහැ ඒවා ලව් බයිට් කියලා..දැක්ක ගමන් පෙන්නේ හමේ රෝගයක් වගේ....තේරුණාද ..?"
"තේරුණා ..උඹ දැන් කියන්නේ ආයේ සේපාලිකා හම්බ වෙන්න ගිහිල්ල අනේ මගේ ඇග හැම තැනම බයිට් තියන්න කියලා ඉල්ලන්න කියළද ...?"
"ආස ඇති නේද ආපහු යන්න...එයා ළගට යන්න ඕනෑ නැහැ.. මම තියන්නම්..."
"මොකක්...? තෝ...? පළයන් යන්න.. තෝ හදන්නේ මගේ ඇගේ ලව් බයිට් තියන්නද...?"
"මම..? උඹ හිතනවද මම උඹේ කුණු සිරුරට මගේ මේ සුපිරි මුව තියයි කියලා...ඒකට පිලියමක් තියනවා....."
අකිල ගොනා විස්ම කර්මයෙක් යැයි කියන්නේ මේ නිසාය. ඔහු යකඩ අඬුවක් සොයාගෙන එහි දැති අතරට කඩදාසි ලේන්සුවක් නවා ඇතුල් කළේය. අනතුරුව එයින් මගේ සිරුරේ තැන තැන කොනිතත්නනට පටන් ගත්තේය. අඬුවේ  දැති දෙක උඩු හා යටි දත් ඇඳි මෙන් නිසා ඒ කොනිත්තීමෙන් බිහි වූයේ සත්‍ය වශයෙන්ම ලව් බයිටයකි. අකිල ගොනා නම් පිදුම් ලැබිය යුතු අයෙකි. දැන් මගේ පපුවේත් , පිටේත් ලව් බයිට් ගණනින් විස්සකි. සත්තකින්ම එය නම් හමේ රෝගයකි.
ගයත්‍රී සහ දියණිය පැමිණි විට වැළඳගෙන, සිපගෙන නොයෙක් ආගිය දේවල් ,මව්බිමේ තොරතුරු කතා කරමින් සිටියාට පසුව ඇඳුම් මලු හිස් කිරීමේ කාර්යයට ගයාත්‍රී නිදන කාමරයට වැදුනා ය. මම එහි ගියෙමි. පිරිමියෙකුගේ මායම් හැට අටෙන් එකක් භාවිතා කර  ඇය පිටු පසින් ගොස් ඇගේ ගෙලට හාදුවක් දුනිමි. ඇගේ දෙනෙත් පියවෙන බව මා දුටුවේ ඉදිරියේ කැඩපත තුළිනි .
"ඔයාට කියන්න දෙයක් තියනවා... කියන්න නෙමෙයි... පෙන්නන්න..." මම කීමි. මවෙත හැරෙන මගේ බිරිඳ ගේ මුහුණේ මෙතක් රැදුණු සෙනෙහෙ සිනහව මඳක් හීනව ඇති බව පැහැදිලිව පෙනේ.  මගේ උඩුකය දකින ගයාත්‍රී ගේ හදිසි කෑගැසීම ඇසී දියණිය දිව ආවාය.
දුව .. ඔයා යන්න... දොර වහන්න.... ඇයගේ තිගැස්සීම විශාලය . උඩුකය දෙස බලා ගත් වනම ඇය යහනේ වාඩි ගත්තාය.
"ජාලිය... මොකද මේ උනේ...? මොනවද මේ තුවාල වගේ...?"
"දවස් දෙකකට කළින් ඉදන්... ඔයාට කිව්වේ නැහැ..."
"ඔයා ෆාමසියට වත් ගිහින් පෙන්නුවේ නැද්ද...යං යං ..දැන්මම .."
"කොහෙද...?"
"දොස්තර ළඟට ..ඔයා දන්නවනේ මම වැඩ කරන පේරෝ මැඩම් ගේ මහත්තයා හම සම්බන්ධයෙන් විශේෂඥයෙක් කියලා. දැන්ම යං අනේ... මේ බලන්න රතු වෙලා තියන හැටි... අම්මේ..."
දැන් මම පොලු පහරට හසුවුණු සුනඛයෙකු මෙන් දොස්තර පේරෝ ගේ මැනවින් හැඩ ගැන්වූ රෝගීන් රැදෙන කාමරයේ වාඩිගෙන සිටිමි. මගේ උරහිසට හිස තබා ගෙන හූල්ලන ගයාත්‍රී නොතේරන මොනවාදෝ මුමුණයි. සිදුවුණේ මොනවාදැයි අකිල ගොනා SMS වලින් අසයි. පිළිතුරු දෙන්නට නොහැකි ය. මේ ගමන නො එන්නට මා ගත් උත්සාහය මෙහි විස්තර කළ නොහැකි ය. කොතරම් හේතු පෙන්වා දුන්නත් මගේ බිරිඳ පිළිගත්තේ නැත. අන්තිමේදී UBER  ගොයියෙකු ගේ මාර්ගයෙන්  සායනයට පැමිණ ගතව යන පහළොස් වැනි විනාඩියේ දී   ඇතුල් වන්නැයි දොස්තර කිවේය. මම තනියම ඇතුලු වන්නට ගත් උත්සාහය සාර්ථක වුයේ නැත. ගයාත්‍රී පසු පසින් ආවාය .

මුලින්ම හර්ද ස්පන්දනය, නාඩි වැටීම්, රුධිර පීඩනය පරික්ෂා කළ වයස අවුරුදු 60 ක පමණ වුණු දොස්තර මගේ උඩුකයේත්, පිට පැත්තෙත් ආසාදන දෙස කුඩා දේ ලොකු කර පෙන්වන කන්නාඩියක් තුළින් බැලුවේය. සියලු පරික්ෂා කිරීම් සහ ප්‍රශ්න කිරීම් වලට ගත වුණු කාලය විනාඩි විස්සක් පමණ විය. ඔහු හම ගැන විශේෂඥයෙක් විය හැකිය. එහෙත් වහාම දත් දොස්තර ළගට යෑ  යුතු වුයේ මුවින් පිට වුණු හිස කරකවන දුගඳ නිසා ය. 
"මේක මොනවා හරි කාපු දේකින් ඇතිවුණු දෙයක්. මේ තත්වයට කියනවා... "පර්ම්සිස් සිහස්න් " කියලා. එක්තරා විදිහකින් ආහාර විස වීමක් කියලා කියන්න පුළුවන්. බය වෙන්න දෙයක් නැහැ.... මම බේත් දෙන්නම්... කොහොමද මැඩම් ලංකාවට ගිය ගමන....,?" අනතුරුව දොස්තර ගයාත්‍රි ගේ තොරතුරු විමසන්නට පටන් ගත්තේය .
අපි දෙන්නා කාමරයෙන් පිටවුණු විගසම වාගේ දොස්තරයා ගෙන් යළිත් ඇමතුමක් ලැබුණි . ඒ මොහොතේ ඔහුට මා සමග තනිවම කතා කරන්නට උවමනා වී තිබුණි. 
"මහත්මයා, බොහොම නරකයි වෛද්‍යවරයාට බොරු කියන එක..."
"ඒ කියන්නේ ඩොක්ටර්..?"
ඒ කියන්නේ... ඔබේ ඇගේ තියනවා අසාදන විසි හයක්. මේ අතරින් එකක් මිනිස් දත් වලට හසුවුණු එකක්... එහෙම නේද...?"
"ඩොක්ටර්...."
"බයවෙන්න එපා මම බිරිඳට කියන්නේ නැහැ... අනෙක් අසාදන මොකක් හරි භාණ්ඩයකින් කරපු ඒවා. එකක් වහන්න අසාදන හුඟක් කරන්න උනා එහෙම නේද...?"
"ඔව්.."
"මට අයිති නැති උනත් උපදෙසක් දෙන්න ද..? හමේ ඇතිවන මේ වගේ මාක්, අසාදන නැති කරන්න පුළුවන්. ඒත් මේ වගේ හොර වැඩ හින්දා හිතේ ඇතිවන අසාදන නැති කරන්න බැහැ බේත් වලින්. ඒවා ජිවිත කාලෙටම තියනවා. කාලයත් එක්ක පවා නැති වෙන්නේ නැහැ. ඒ නිසා මගේ උපදෙස මොකක්ද දන්නවද....? මම ඔබව පරික්ෂා කරද්දී බිරිඳගේ  මුහුණේ තිබ්බ බිය මට තේරුණා. ඒ බිය ඇති වෙන්නේ නැහැ මවා ගත් ආදරයක් තුළින්. ඒ බියයි, ආදරයයි පමණක්ම ඇති ජිවිත කාලයම ශක්තිමත් කරන්න. ඔබේ බිරිඳ වගේ කාන්තාවක් ලබන්න මම හිතන්නේ වාසනාවන්ත විය යුතුයි. ඔබට තේරෙනවද....?"
"ඔව් ඩොක්ටර්...."
පිටත පැමිණි පසුව දොස්තර මොනවද කිව්වේ ගයාත්‍රී ඇසුවාය. "කෑම ගැන කිව්වේ. නිතරම ගෙදරින් කන්න කිව්වා. පිටින් කන්නේ නැතිව. ..."
"ඔයා මං නැති අතරේ මොනවා හරි ජරාවක් කන්න ඇති පිටින්...."
ඒ සුවිශේෂ දිනයෙන් පසුව මේ ගෙවී යන්නේ සිව් වන මාසයයි. මේ කාලය ඇතුළත එකදු අවස්ථාවකදීවත් සේපාලිකා මට හමුවූයේ නැත. බොහොම කෙටි වචන කීපයකින් ඒ කට ගඳ දොස්තර මගේ ජීවිතය සුවඳවත් කළේ ය .
තවත් මාසයකට පසු රැකියාවෙන් පසු නිවසට පැමිණි ගයාත්‍රී පුස් මුහුණකින් සිටිනු දුටිමි. "මොකෝ උනේ ...,"
"මැඩම් පේරෝ .. එයාගේ හස්බන්ඩ් ගෙන් වෙන් වෙන්න යනවා.... මට රස්සාව නැති වෙයි වගේ..."
"අර හමේ දොස්තර... ඒ මොකෝ..."
"ඔව්.. එයාට අවුරුදු පහළොවක ඉදං තිබ්බ වෙන සම්බන්ධයක් මැඩම් ට අහුවෙලා... ළමෙකුත් ඉන්නවලු..."
"මොනවා... මේ යකා මට උපදෙස් දුන්නේ......."
"මොන උපදෙස්ද...?"
"නැහැ නැහැ..මුකුත් නැහැ..."
 අනතුරුව ගයාත්‍රි මවෙත ලංවී මගේ කොපුල සිප ගත්තාය. මදෙස ආදරයෙන් බලා සිටියා ය. 
"මම වාසනාවන්තයි ඔයා වගේ මිනිහෙක් ලැබුණ එකට රත්තරං .. විශ්වාස කරන්න පුළුවන් මිනිහෙක් ඉන්න ගෑනි කොයි තරම් පින් කරළා තියෙන්න ඕනැද ...?"
"හ්ම්ම්..."
"දුව එන්න පරක්කු වෙනවා.. මම වොෂ් එකක් දාගෙන එන්නම්...."
"හා.... "
ඒ සවස් යාමයේ අපි කාළෙකට පසු රති සැපතේ ගැලුනෙමු. එය කුණාටුවක් වැනි ප්‍රේම රංගනයක් නොවේ. බොහෝ සීරුවෙන්, සංයමයෙන් ජීවිතය ගොඩ නගා ගත්තාක් වැනි වූ රංගනයකි. මේ ලෝකය සුරක්ෂිත ආරක්ෂා තැනක් යැයි අපට සිතුණි .
ඇය මගේ ලැමදට හිස තබාගෙන සිටිනා මොහොතේ මම මෙසේ ඇසුවෙමි.
"ඔයාට බැරිද මට ලව් බයිට් එකක් තියන්න...."
"ලව් බයිට්....? ලව් බයිට් මොකටද අනේ මම ඔයාගේ ගෑනි නේ...ඔයාගේ හොර ගෑනි නෙමෙයිනේ....."


Nissanka Rajapaksa

unread,
Dec 14, 2023, 5:20:23 PM12/14/23
to INDRAKA group
45
අවසන් දුම්රිය 

A short story by: Epic writer Duo

මැහුම් ඉරී, වැහුම් ඇරී, එල්ලා වැටෙන බුරුල්ල දෑතින් වසාගත් ඇය, පැළුම් අරුණු පරණ තාප්පයේ, පෝස්ටරයක ඒල්ලී, ඇගේ අවණඩුව දහඅට ට වැඩි නාම්බන්ට පමණක් කැප බව ට, රතු අකුරින් අණතුරු දල්වා තිබුණි. වැඩැහිටියන් ට පමණක් වෙන් වූ සිනමාවක් නැරඹීමේ ආශාව, බොහෝ කළක පටන් සිතේ කොණක පැළ පදියං වූ ආශාවකි. දුම්රියේ නැගී කොළඹ බලා පිටත් වුනෙමි. පැය තුනහමාරක දුම්රිය ගමනකින් පසු, කොටුව දුම්රිය ස්ථානයෙන් බැස ගති මි. කොළඹ නුහුරු වූව ද, රාත්‍රී දර්ශනය සඳාහා සිනමා ශාලාවක ගාල් වීම, අපහසු කාර්්‍යක් නොවී ය.

ගැල වී වැටෙන තිසර පටත්, මෑත් වුනු සළු අතරින් එබී බැලූ කළවයක මස් පිඩුත් හැරෙන්නට, වෙනත් යමක් සිනමා වේ නොවී ය. කුඹුකේ ලිඳේ විකාලයේ දිය නාන, සෝමා අක්කාගේ බුරුත කඳේ ඇතිල්ලී, ඔප මට්ටම් වූ ගල් පතුරට, තැරි ගැසී වැටෙන කුණු තට්ටුවල පිහිටෙන්, බකිණි මලත් යාන්තමින් දැක ඇති මගේ ඇස; සිනමාව කින් තෘප්තිමත් කළ නොහැකි බව ට තේරුම් ගති මි. දෙපැයකින් රෙද්ද වැසී, තිරය අඳුරු වූ රඟහලක තවත් නැරඹීමට රෙද්දක් නැති බැවින්, හණික පිටත් වුනෙ මි.

ගමට යන අවසන් දුම්රියේ එල්ලීමට, තවත් අඩ හෝරාවක් පමන්ක් ඉතිරිව ඇති බව කියමින්, මැණික් කටුවේ උරච්චි වෙන ඔරලොසුවේ කටු, දුම්රිය ස්ථානය කරා වේගයෙන් පිටත්වන ලෙස දෙපයට ගතු කී ය. සෙවණැලි මැකී, මග අඳුර රජයන වීදිය දිගේ, දුම්රිය ස්ථානය සොයා අඳුරට ම මුසු වුනෙ මි. මා අතරමං වී, දුම්රිය ස්ථානය බාලගිරි වී ඇති බව වැට හී, මඳක් නැවතී වට පිට බැලුවෙ මි.

බොඳ වූ වීදි පහනක් යට, භංග වු මාලිමාවක කටුවක් වී, ඉසව්වක් සෙයා දස අතේ කැරකෙනා මගේ බෙල්ලත්; අණ්ඩය විකාගෙන ලේ උරා බොමින් සිටි මැක්කෙකු ට, නියපොත්තෙන් පහර දෙම් ද, දතින් පහරදෙම් දෝ කියා දෙලොවක අතරමං වූ බල්ලෙකුගේ, වැනෙනා නගුටත්; පහන් කණුවක අනිච්චාවත ඉතිරි කර, ඉරී වැටී, නිවණ සොයමින් වීදි දිගේ සුලඟේ පාවෙන, “සංඛාර” ලියැවුනු කඩාසි කැබැල්ලකුත්; කිසිදා එක්වන්නට නොහී දෙතැනක සදාකල් ලතැවෙන, ගැහැණියක සහ පිරිමියකගේ සංකේතයන් මුර කරනා, දොර දෙකේ පාළු කක්කුස්සියක වහලේ වැඩුණු, කපුටු බෝ පැළයක වැනෙනා ලා දළුත් හැරෙන්නට, චංචල වෙනත් කිසිදු වස්තුවක් එම පාළු වීදියේ, ඇස ගැටෙනා මාණයක තවත් නොවී ය.

එතෙක් දැණුනු පොඩි බඩගින්න, ලැව් ගින්නක්ව පැතිර, බොකු බඩ වැල් දවා අළු කර නැගුණු දුමාරය, ගුදවාතයක් වී, දිරාගිය පරණ රෙදි කැබැල්ලක් ඉරා දැමූ හඬින්, මාගේ අධෝ මූඛයෙන් එළිය බැලූ හඬ හැරෙන්නට, වෙනත් කිසිදූ ශබ්ධයක් ද, එම මූසල වීදියේ නොවීය.

නොනැවතී තවත් ඉදිරියට ඇදුනෙ මි, එහෙත් මග විපරමට කසිවෙක් නොමැත. මදුරුවෙකුගේ කෙඳිරිලි හඬක් නගමින්, අඳුර ඉරාගෙන ගිනිමරේට පැමිණි ත්‍රී රෝධ රථයක, තිරිංග තද වුනු රෝද, තාර කට්ට විකාගෙන, මා ඉදිරියේ නතර විය. මැදිවිය ඉක්ම වූ රියදුරුගේ කඩප්පුලි බැල්මෙන් මාගේ සැකය අවදි විය.

සනික ස්වයං විගණනයක යෙදුනෙ මි. පසුම්බියේ ඉතිරිව ඇති රුපියල් හත්සිය තිහක මුදලත්, දැනට වසර තුනකට පෙර රුපියල් හාරසියය ට මිල දී ගත්, කනපාට ගැසී, ලජ්ජාවෙන් දිලිසෙන රිදී අත් ඔරුලෝසුවත් එකතු ව, මාගේ තත්කාල වටිනාකම රුපියල් එක්දහස් එකසිය තිහක් ලෙස, මා හට ම ලංසු තැබුවෙ මි. ඔහු මංපහරන්නෙකු වී, මාගේ කැඳ හැලියේ අත දමා සෙවුව ද, හමු වනා බිජුවක් නැත. මන්ද, මම අම්බළමක් නැති ආඬියෙකුටත් වාඩා දුගියෙක් වෙ මි.

ඔහු: මහත්තයා කොහෙට ද?...

මම: ඉස්ටේසමට...."

ඔහු: කොච්චිය කීයට ද?

මම: දොලහෙ කෝච්චිය ට...

තම අත් ඔරලෝසුව දෙස බැලූ ඔහුගේ නළල රැලි විය, කොස්සක් යට හරස් අතට වූ පැළුම් විවරයක් මෙන්, රැවුලට යටින් දිස් වූ ඔහුගේ මුඛය, උල් විය.

ඔහු: තව විනාඩි පහළොවයි තියන්නේ, මේක ඉස්ටේසමට යන පාරක් නෙවෙයි, නගින්ඩ මම ගිහින් දාන්නම්....

මම: කීයක් ඔනි ද?....

ඔහු: කීයක් හරි දෙන්ඩ මහත්තයෝ....

සක්වල ගලින් ඔබ්බට මා කැන්දා ගෙන ගිය ද, ඔහුට රුපියල් පනහක් පමණක් මිට මොලවීම ට සිතාගත් මා, ත්‍රී රෝධ රථයේ නැගී අසුන් ගති මි. රථය හරවා ගත් ඔහු, මද දුරක් වේගයෙන් ගමන් කර, අතුරු මාර්ගයකට ඇතුලු විය. නාසයේ වැසූ කණාමැදිරියෙකු මෙන්, ත්‍රී රෝධ රථයේ ඉදිරිපස තනි විදුලි ලාම්පුවෙන් ගලා යන, කහ පැහැති ආලෝකයට, කිසිවක් නිෂ්චිතව ම නොපෙනෙනා මුත්, විටින් විට තිරිංග තද වී, අඩු වැඩි වෙන ත්‍රී රෝද රථයේ ප්‍රවේගයෙන් මැගහැරෙනා වලවල්, රතැදුරා මේ මාර්ගයේ වැලි කැටයක් පාසා ම හඳුනනා බව ට සාක්ෂි දැරී ය. අද රාත්‍රියට පමනක් ගාල් වීමට, නගර සෝබනියකගේ තුම්මුලක් සොයනා, සල්ලාල කේප්පයෙකු ලෙස රියදුරුතෙමේ මා හන ගසා ඇති බවට, වරක් දෙවරක්ම පාත්තයෙකු මෙන් බෙල්ල කරකවා, මා දෙස බලා, ඔහු පෑ මදහසින් අවබෝධ කර ගිති මි.

විනාඩි පහකට ආසන්න වේගවත් ගමනිකන් පසු, වේගය අඩාල වූ රථය, පාරට මායිම්ව තැණුනු නිවාස පෙළක, විදුලි පහන් නිවා අඳුරේ ගිලී තිබුණු නිවසක් ඉදිරිපිට නතර විය.

ඔහු: පොඩ්ඩක් ඉන්ඩ මහත්තයා.....

රියදුරු අසුනෙන් සනික බැස ගිය ඔහු, අඳුරු නිවසේ, වසා තිබු දොරට තට්ටු කළේ ය. විදුලි පහන් දැල්විණි. විවෘත වූ දොර පළුවකින් එළියට පිවිසි ඇය, ලා රෝස පාට දුහුල් නිදි ඇඳුමකින් සැරසී සිටි, තිස්වන විය නොයික්ම වූ, ඉදුණු දෙහි ගෙඩියක වර්ණයෙන් දිදුලන, පිරිපුන් සිරුරක් ඇති කාන්තාවකි. ඇගේ කණට ලිංවී, රියදුරා රහසක් කෙඳිරුවේ ය. රහස අවබෝධ කරගත් බවට හිස දෙපසට සලා, ඇය සංඥා කළා ය. පෙරළා පැමිණි රියදුරු, "ඉක්මනට බහින්ඩ මහත්තයා" කියමින් ත්‍රී රෝද රථයේ රියදුරු අසුනට ගොඩ විය. සිදූ වූ සියල්ල අවබෝධ කර ගති මි. ත්‍රී රෝද රථයෙන් බැස, ඔහුගේ ගාස්තුව ගෙවා දැමීමට පසුම්බියට අත ගෙන ගියෙ මි.

මම: කීයද.....?

ඔහු: සල්ලි ඔනි නැහැ මහත්තයා, ඉක්මනට යන්ඩ, අරයා බලාගෙන ඉන්නවා......

ලීවර දණ්ඩ වේගයෙන් ඉහළට ඔසවා ඉන්ජිම පණ ගැසූ ඔහු, ගියර කට්ටේ රාශීන් "කටස්" යන යඬින් මාරු කර, වේරම්භ වාතයේ වේගයෙන් ඉගිලී ගියේ ය. කොයි අත කැරකී බැලුව ද, දැන් ඉතිරිව ඇත්තේ, ඇයත් මමත්, මමත් ඇයත් පමණි. දොරකඩ සිටගත් ඇය, "එන්ඩ ඇතුලට" කියමින් ආරාධනා කළා ය. බඹසර සභංග වූ කුමරෙකු, අශ්ටක හඬින් පෝරු මස්තකයක ක්ලාන්ත වී ඇද වැටුණු ඉතිහාසයක් නැති බව නිශ්චිතවම දන්නා මා, නුඹේ තැන මටත්, මගේ තැන නුඹටත් බවට සංහිඳේ අත ගසා, මගේ පෙම් වතිය වූ සුදම්මිට දුන් පොරාන්දුව බිඳීමට, විවෘතව ඇති දොර පළුවෙන් ඇතුළු වුනෙ මි.

දොර පළුව වසා, මුදුනේ ඇති අගුල ඉහලට තල්ලු කිරීමට, දෙපයේ ඇගිලි තුඩු අගින් ඉස්සුනු ඇගේ අක්කරයක් පළල් වූ නිතඹ, සින්නක්කරව ලියාගත් මගේ දෑස; නිතඹේ ගැට්ටේ කටු මැටි පැළක් තනා, එහි බින්න බැහැගත් අතර, මගේ සිත අවධි නොවන සිහිනයක පැටලී, ඇය හා පවුල් පන්සල් වී, යල මහ කන්න අස්වද්දා, දරු මුණුපුරන්ද වදා, බොහෝ දුරක් ගොස් ඇති බව වටහා ගත් ඇය, ලැජ්ජාවෙන් මා දෙස බලා පෑ මදහසින්, ඇගේ කම්මුලේ මතු වූ වල, හණික අතුරුදහන් වූව ද; එහි සුන්දරත්වයේ ගැඹුරුම තැනක ගිලී මියගිය මගේ පපුකැවුත්තේ ගැස්ම, මොහොතකට නතරවිය.

සාලයේ දල්වා තිබූ අඩ අඳුරු විදුලි බුබලත්, වසා දමා තිබූ කාමර දොරවලුත්, මෙම නිවසේ ඇය හැරෙන්නට වෙනත් කිසිදු ජීවියෙක් නොමැති බවට පරසක්වලේ ගසා කීය. පය ඉක්මන් කර සාලයේ අඳුරු කොණක වසා දමා තිබූ දොරක් වෙත පිය නැගූ ඇය, එහි අගුල බුරුල් කරමින්, "ඉක්මනට එන්ඩ" යැයි සිහින් හඬින් ඇරයුම් කළා ය. "මේකිට තියන හදිස්සියක්" යැයි මටම කියාගත් මම, කිතුල් බෙණයක් දළෙන් ඇන, දෙපළු කරන්නට ඇදෙනා මද කිපුනු සද්ධන්තයෙකු මෙන්, බර අඩි තබින් ඇය වෙත පියනැගුවෙමි.

ආරස්සාවට ඌරු තෙලේ ගිල්වා මැතිරූ සුරයක් බෙල්ලේ එල්ලා ඇති බැවින්, ආරක්ෂාවට ගිල් වීම ට, රබර් උරයක් නොමැතිව ම, ඇගේ බක පිත්තම හා හටන් වැදීමට; මයිනහමේ ගිණියම් වී, ගිනිගලේ මුවහත් වු රංඩිංගා ඉස්සර වූව ද, ගණුදෙනු ගිවිසා ගැනීම රිසියැයි සිතු මා; ඇයට කිට්ටු කර, ගාන කීයදැයි ඇසීමට කට අරිනවාත් සමග ම, "දරාස්" යන හඬින්............, සිමෙන්ති පෙළවේ වැටී තිබුණු වැලි කැට කුඩු කරමින්, ඇය දොර විවෘත කළා ය. වේගයෙන් ආ සිසිල් සුලඟක් මා ගත පසුකර ගොස්, බිත්තියේ එල්ලා ඇති දින කැලන්ඩරයක පිටු සට සට හඬින් සලා දමා, සාලය පුරා සිසාරා ගියේය.

ඇය: දුවන්ඩ මල්ලී, දුවන්ඩ, අන්න කෝච්චිය පිටත් වෙන්ඩ යන්නේ....

මම: ................?




Nissanka Rajapaksa

unread,
Dec 15, 2023, 5:27:19 PM12/15/23
to INDRAKA group
ඉංග්‍රීසි පරිවර්තනය: ලේන් ඩන්ලොප්
සිංහල පරිවර්තනය: කාව්‍ය තත්සර
මගේ දිවි ගමනේ මා ගෙවා දැමූ විසි හතරවැනි අවුරුද්දේ සරත් සමයේ දී මුහුදු වෙරළ අසළ පිහිටි නැවතුම් පොළක දී මට එක්තරා කෙල්ලක හමුවිය. ඒ ප්‍රේමයක ආරම්භය විය.
 
ගැහැනු ළමයා එක්වර ම ඇගේ හිස ඔසොවා, ඇය ඇඳ සිටි කිමෝනෝවේ අතකින් ඇගේ මුහුණ වසාගත්තා ය. එය දුටු පසු, මට සිතුණේ මා මගේ නරක පුරුද්ද නැවතත් පෙන්වා ඇතැයි කියා ය. මම ලජ්ජාවට පත් වූ අතර, වේදනාබර ඉඟියක් පෑමි.
 
"මම ඔයා දිහා බලන් හිටියා, නේද?"
 
"ඔව් . . . ඒත්, එහෙම කරන්න හේතුව ඒක නෙවෙයි." හඬ ඇගේ මිහිරි විය; දෙඩූ වදන් ඇය, රළු නොවී ය. මගේ සිතට සහනයක් දැනිණි.
 
"ඒක ඔයාට වදයක් නේද?"
 
"නෑ. ඒකට කමක් නෑ, ඒත් . . . ඇත්තට ම, ඒකෙ ප්‍රශ්නයක් නැහැ."
 
ඇය, ඇගේ මුහුණ වසා සිටි අත පහතට දැමුවා ය. ඇගේ මුහුණ මා හමුවේ නිරාවරණය කිරීමට ඇය දැරූ වෑයමේ තරම කොතෙක්දැයි කියා ඇගේ මුහුණේ ස්වභාවය දුටු විට මට පෙනිණි. ඇගෙන් ඉවතට මුහුණ හරවා, මම සාගරය දෙස බැලුවෙමි.
 
මගේ පසෙකින් හිඳ සිටින අයගේ මුහුණ දෙස බලා සිටීමේ පුරුද්ද මට බොහෝ කල් සිට ම තිබිණි. ඒ පුරුද්ද මා නැති කරගෙන ඇතැයි කියා නිතර ම පාහේ මා සිතුවත් අන්‍යයින් දෙස බලන්නට උත්සහ නොකිරීම මට අපහසු දෙයක් විය. මා එවැන්නක් සිදු කරන වග මට වැටහුණු විට, මට මා කෙරෙහි ම මහා වෛරයක් ඇති වන්නේ ය. සමහර විට, මෙම පුරුද්ද, මට මාගේ දෙමව්පියන් සහ නිවස අහිමි වූවා ට පසු, පවුලේ අනෙක් අය සමඟ ජීවත් වන්නට ගොසින් සිටිය දී නිතර ම ඔවුන්ගේ මුහුණු කියවන්නට මා උත්සහා කළ නිසා ඇති වූ යමක් විය හැක. එය නිසා මා මෙයා'කාර වන්නට ඇතැයි කියා මම සිතුවෙමි.
 
මේ පුරුද්ද, පවුලේ අනෙක් අය සමඟ ජීවත් වන්නට යන්නට පෙර සිට ම, මගේ ම නිවසේ මා ජීවත් වූ කාලයේ සිට ම, ඇති වූ පුරුද්දක් වූවාදැයි කියා එක් අවස්ථාවක නිශ්චය කර බලන්නට මම උත්සහ කළෙමි. එහෙත්, එවැන්නක් අනුමාන කර හැකිවන කිසි ම මතකයක්, මගේ මනසේ නොතිබිණි.
 
කෙසේ වුවත්, ගැහැනු ළමයාගෙන් ඉවතට මුහුණ හරවත් ම, මට සරත් ඍතුවේ ඉර එළිය පැතිරී ගොසින් ඇති ස්ථානයක් 
මුහුදු වෙරළේ පෙනිණි. එම ස්ථානය, බෝ කලක් මතක අතරේ වැළලී තිබූ එක්තරා මතකයක්, මගේ සිහියට කැඳවී ය.
 
මාගේ දෙමවුපියන් මිය පරළොව ගියා ට පසු, මම, මාගේ සීයා සමඟ අවුරුදු දහයක් ම, ගම්බද පෙදෙසක වූ නිවසක, තනි ව ජීවත් වීමි. මගේ සීයා අන්ධ පුද්ගලයෙක් විය. ඔහු අවුරුදු ගණනාවක් ම, ඔහු ඉදිරියේ ගල් අඟුරු බඳුනකුත් තබාගෙන, නැගෙනහිරට මුහුණ යොමු කරගෙන, එක ම කාමරයක, එක ම තැනක වාඩි වී සිටී ය. ඉඳ හිට ඔහු දකුණු දිශාවට ඔහුගේ මුහුණ යොමු කරත්, උතුරට ඔහුගේ මුහුණ යොමු කළේ ම නැත. මගේ සීයාගේ මේ එක් දිශාවකට පමණක් මුහුණ යොමු කරගෙන සිටීමේ පුරුද්ද මට හසු වුණු පසු, මම එය ගැන බෙහෙවින් වද වුණෙමි. සමහර අවස්ථාවල දී මම, මාගේ මුහුණ ඔහුගේ මුහුණෙන් මඳකටවත් ඉවත ට නොගෙන, ඔහු උතුරු දිශාවට එක් වතාවක් හෝ මුහුණ හරවන්නේදැයි කියා විමසිලිමත් ව බලා සිටින්නට හුරු ව සිටියෙමි. එහෙත්, ඉලෙක්ට්‍රික් බෝනික්කෙක් මෙන්, සීයා සෑම මිනිත්තු පහකට සැරයක් පාසා, දකුණු පැත්තට මුහුණ හරවන්නේ දකුණු දිශාවට ඔහුගේ මුහුණ යොමු වන පරිදි ය. එය මට දුක්බර හැඟීමක් ගෙන දිණි. එය අමුතු හැසිරීමක් ලෙසින් මට පෙනිණි. නමුත් දකුණට වන්නට තිබුණේ ඉර එළිය ඇති තැනකි; අන්ධ පුද්ගලයෙකුට පවා දකුණු දිශාව අනෙක් දිශාවලට වඩා යම්තමින් හෝ එළිය වී ඇති බවක් දැනුණේ දැයි කියා මම කල්පනා කළෙමි.
 
වෙරළ දෙස බලමින්, මම, මට අමතක ව තිබූ ඉර එළිය පැතිර තිබූ අනෙක් තැන ගැන සිහිපත් කළෙමි.
 
ඒ දිනවල, මාගේ සීයා උතුරු දිශාවට මුහුණ යොමන තෙක් මම සීයාගේ මුහුණ දෙස බලා හුනිමි. ඔහු අන්ධ වූ හෙයින්, ඔහු දෙස මම මඳකුදු නොසෙල්වී බලා සිටින්නට හුරු වීමි. මිනිසුන්ගේ මුහුණු දෙස බලා සිටීමේ පුරුද්ද බවට පෙරැළුණේ එය බව මට වැටහුණේ එවිට ය. බලන් යද්දී, මිනිසුන් දෙස බලා සිටීමේ පුරුද්ද මා සතු ව තිබී ඇත්තේ මා මාගේ ම නිවසේ විසූ කල්හි සිට ම ය. එසේ නම් එය පහත් අදහස් නිසා පැන නැංගක් නොවේ. මේ පුරුද්ද තිබීම පිළිබඳ ව මට ම මා අනුකම්පා කරගත්තාට මට දැන් කිසි දෙගිඩියාවක් දැනුණේ නැත. එම සිතිවිල්ල නිසා මට සතුටින් උඩ පනින්නට ද සිත් විය - වැඩිපුර ම ඒ එවේලේ මේ ගැහැනු ළමයා වෙනුවෙන් පවිත්‍රවත් වීමේ ලාලසෙන් මගේ හද පිරී තිබූ නිසාවෙනි.
 
ගැහැනු ළමයා නැවත ඇගේ හඬ අවදි කළා ය. "මට මූණ පෙන්නලා හුරුයි, ඒ වුණත් මට තව ම ටිකක් ලැජ්ජයි."
 
ඇගේ වචනවලින් කියැවුණේ ඇගේ මුහුණ දෙස බලා සිටින්නට මට අවසර බව යි. මා කළින් නරක හැසිරීමක් ප්‍රදර්ශනය කළායැයි කියා ඇය සිතුවා වන්නට හැක.
 
පෙරට වඩා ආලෝකමත් වූ මුහුණින් මම නැවතත් ඇය දෙස බැලීමි. ඇගේ මුහුණ ලජ්ජාවෙන් රතු වූ අතර, ඇය හෙළූ බැල්ම දඟකාර විය. "ගතවෙන දවාලක් ගාණෙ, ගතවෙන රැයක් ගාණෙ, මගෙ මූණෙ ආගන්තුක බව අඩුවෙලා යයි. ඒ නිසා මං ඒ ගැන වදවෙන්නෙ නෑ." ළදරුවෙකු මෙන්, ඈ තෙපළා ය.
 
මම මඳහසක් පෑයෙමි. අප'තර වූ සම්බන්ධයට හදිසියේ ම මොකක්දෝ ඇඟෑලුම් කමක් එක්කාසු වූවාදැයි කියා මම කල්පනා කළෙමි. මගේ සීයාගේ ද, මේ ගැහැනු ළමයාගේ ද මතකයන් උසුලාන, මුහුදු වෙරළේ ඉර එළිය පැතිරී ඇති ස්ථානයට යන්නට මට වුවමනා විය.
 

Nissanka Rajapaksa

unread,
Dec 16, 2023, 3:52:02 PM12/16/23
to INDRAKA group
48
ජීවිතය පුපුරා යයි......

- මංජුල සේනාරත්න 

මධූ ගේ මරණය මා මරා දමන්නට සමත් විය. 

පුරුදු යහනේ, නොපුරුදු මොහොතක දෙනෙත් පියා ගන්නට උත්සාහ කළ මට මහා පොළොව දෙදෙරුම් කෑ බව දැනුණු විට මුලින්ම මා කළේ කවුළුව අසළට ගොස් අසළින් හමා ගිය සුළං රැල්ලකින් ලය පුරවා ගැනීමයි. වාතයේ රැඳුණු ගෙන්දගම් දුගඳින් මගේ නාස් පුඩු පිරුණි. ඒ දුගඳ අතරේ යන්තමින්, හඳුනා ගත නොහැකි සේ මධූ ගේ සුවඳ පාවී ආවා මට මතකය. 

මගේ හදවත දෙදරුම් කෑවේය. හිස කැර කැවෙන්නට විය. සිරුර පණ නැතිවී ඇවිද ගන්නට නොහැකි වූ තැන සිමෙන්ති පොළොවේ වාඩි ගතිමි. බිම් බෝම්බ දාමයක් පුපුරා ගිය බව ආරංචි වූ සැනින් මගේ යුධ සගයෝ වාහන වල නැගී කඳවුරෙන් පිටවී යන්නට පටන් ගත්හ. වෝකි ටෝකි වලින් නැගෙනා නොයෙක් මාදිලියේ හදිසි ඇමතුම් හඬින් පරිසරය පිරී ගොස් තිබුණි. විනාශයක පෙර ලකුණු වැහිබර අහසේ ලියවී ඇත. දුඹුරු පැහැති ගස් වැල් සෙලවුණේ  ලේ රස සොයනා යක්ෂයින් මෙනි. යුධ බිය මගේ සිතට දැනුණි. මරණය පිය ගැට පෙළ පාමුලට  පැමිණි සිටියි. ජීවිතය මගෙන් සොරා ගෙන සැඟවී යන්නට මධූ සමත්ව සිටියාය.

මියෙන්නට පෙර අපි දෙන්නාට හාදුවක රස බලන්නට නොහැකි වූයේ ඇයි ..? 

අපේ ආදරයට ගත වී තිබුණේ මාස කීපයක් පමණි. එය සිරුරු වලින් බැඳුනු ආදරයක් නොවේ. කතා බහින්, දෙනෙත් වලින්, සුවඳ ආග්‍රහණයෙන් ආත්ම පුරවා ගෙන ගොඩනගා ගත් ආදරයකි. 

"යුද්දේ ඉවර උනාම අපේ වගකීම් ඉවරයි. අපිට අපේම ජිවිතයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා ඔයා හිතනවද...?" අපේ අවසන් කතා බහේදී ඇය ඇසුවාය. දුරින් සිට කෙරුණු ආදර කතා බහ අතරේදී මෙවැනි බැරෑරුම් ප්‍රශ්නයක් ඇසීම ඇගේ පුරුද්දයි. බැරෑරුම් ප්‍රශ්න වලින් පළා යාම තරුණ මගේ පුරුද්ද වී තිබුණත් ඇගේ ඒ ප්‍රශ්නයේ ගැඹුර මම දුටිමි. ඒ ප්‍රශ්නය වනාහි යතාර්ථයට මුහුණ දීමකි. ජීවිතය අපිට උරුම කර දී ඇති ජිවන රටාවට පයින් ගසා, උඩුගං බලා ඔරු පැද ගිය කොපමණ දනා ආදරය දිනා ගෙන ඇත්දැයි මම නොදැන සිටියෙමි. 
"ඔව්..ඇයි එහෙම නොලැබෙන්නේ..?" මගේ කෙටි පිළිතුරයි. එය පිළිතුරක් නොවේ. ඇගේ ප්‍රශ්නයට ප්‍රශ්නයක්ම ඇසීමකි . එහෙත් ඇය  සිනහ වූවාය. එය ඇගේ අවසන් සිනහවයි. ඇය මිය ගියේ අවසන් සිනහවෙන් පැය  කීපයක් ගත වූ පසුවයි. 
එය 2009 වසරයි. මැයි මාසයයි. යුද්ධය නිමාවට පත් වෙමින් තිබේ. ඉතා දිගු කාලයකට පසුව අපේ කොල්ලන්ගේ මුහුණු ආඩම්බරයෙන් පිරී තිබුණි. ඔවුහු පෙරටත් වඩා අධිෂ්ඨාන පූර්වකව සටනට මුහුණ දෙමින් සිටියහ. සතුරා පසු බසිමින්  සිටියි. අපි සතුරාගේ දේහ මතින් පා තබා ගොස් ලොවටම පෙනෙන්නට සිංහ ධජය සිට වූයෙමු . ඒ විරෝධාර ධජය සුළගේ ලෙල දෙන විට මගේ ප්‍රධානියා වූ මේජර් නාලක  ප්‍රනාන්දු මවෙත හැරී "අපි ළගදීම ගෙදර යනවා රසල්... ඔව්. මේ නරුම යුද්දේ තව මාසෙකින් ඉවරයි... සතුටුයි නේද....? " යනුවෙන් කීවා මට මතකය. ගෙදර යන්නට විශේෂ ආසාවක් මගේ සිතේ තිබුණේ නැත. දන්නා කාලයේ පටන් යුධ බිමේ, මගේ යුධ සගයන් සමග ජීවිතය ගත කළ මට ගෙදර යාම සිහිනයක් මෙන් විය. අනෙක් අතට මා එනතුරු නිවසේ බලා සිටිනා කෙනෙක් මට නැත. එහෙත් ගෙදර යාමේ ආසාවක් මට හුදෙක්ම නොතිබුණේ මධූ මගේ ප්‍රේමවන්තිය වූ දිනයේ පටන්ය.

 වන්නි ප්‍රදේශයට නොදුරින් මාරයිම්පත්තු ගම්මානයේ යුධ කඳවුරේ මා මේ ගත කරමින් සිටින්නේ පස් වන මාසයයි. පසුගිය පස් වස පුරාම උතුරේ හමුදා සේවයේ නිරත වුණු මම කීප වතාවකදීම සතුරු ප්‍රහාර වලින් දිවි ගලවා ගතිමි. මේජර් නාලක ප්‍රනාන්දු මගේ සේවය කෙරෙහි දැක්වූ දැඩි කැමැත්ත නිසාම, කඳවුරු මාරු කරන සෑම අවස්ථාවකදීම මා ඔහු සමග කැඳවාගෙන යන්නට තීරණය කළේය. එපමණක් නොවේ. මාස දෙක තුනකට වරක් මීගමුවේ තම මහ ගෙදර නිවාඩුව ගත කරන්නට යන්නට පෙර මා හමුවට විත් "රසල්. . යමුද අපේ ගෙවල් පැත්තේ ගිහින් එන්න... තමුසේ ඇලේ නාන්නත් කැමතියිනේ...." යනුවෙන් අසයි. සෑම අවස්ථාවකම මම කැමැත්ත පළ කළෙමි. මේජර් නාලක ප්‍රනාන්දු යනු සැබෑ හමුදා නායකයෙකි. තරුණ වයසට සරි නොවන තරමේ බුද්ධියකින් හෙබි ඔහු මහත්මයෙකි. තමන්ගේ බලය කිසිදු විටක පහළ නිලධාරින් හමුවේ විහිදා නොහළ ඔහු මගේ වීරයා විය. 
අපි මිතුරන් නොවීමු. එහෙත් ඔහුගේ  විවාහ මංගල්‍යයට ආරාධනා ලැබූ හමුදා සගයන් අතරේ මා ද විය. එදා මංගල උත්සවයේදී බොහෝ දෙනාගේ අවධානය මා වෙත යොමු විය. එය මගේ දිවියේ ප්‍රීතිමත්ම දිනය යැයි අද මට සිතේ. 
මධූ අපේ කදවුරට පැමිණියේ හත් මසකට පෙරදී පමණය. ඇගේ කැපී පෙනෙන රූ සපුව මගේ සගයන්ගේ නෙත්, සිත් සොරා ගන්නට වැඩි කාලයක් ගත වුයේ නැත. මුල් අවදියේදී ඇය ගැන කිසිදු උනන්දුවක් මගේ සිතේ ඇති නොවිණ . ඇය අප අතර  සිටි එකම තරුණිය නොවේ. එහෙත් රූමත් බැවින් මෙන්ම , කාරුණික බවින්ද මුලින්ම සිටි තැනැත්තියයි. ඇය අපේ කඳවුරට පැමිණෙන්නට පෙර කොළඹ ජනාධිපති මන්දිරයේ ආරක්ෂක අංශයේ සේවය කර තිබේ. එහෙත් ඇයත් සමගින් සේවය කළ තවත් සගයෙකුගේ නොමනා යෝජනාවක් ඉවසා ගත නොහැකි එක මොහොතක ඇය දරුණු අඬ දබරයකට පැටලී ඇත. වන්නි ප්‍රදේශයට ඇය මාරුවක් ලැබුවේ විනය පරීක්ෂණයෙන් අසමත් වීම නිසාය.

පහළ ශ්‍රේණියේ සෙබළුන් වශයෙන් මධූ ට පමණක් නොව මටත් මගේ අනෙක් සහයින්ටත් වෙන්වූ විශේෂ කාර්යය භාරයක් වූයේ නැත. එසේ වුවද සමීප අවදානම හඳුනා ගැනීමට අපි පුරුදු පුහුණු වී සිටියෙමු. අපේ පුහුණුව දිගු කාලීන එකකි. විවිධාකාරයෙන් සතුරා මර්ධනය කිරීම් ගැන පුහුණුව ලැබූ අපි වැඩි අවධානයක් යොමු කළේ බිම් බෝම්බ සොයා ගැනීම සහ නිෂ්ක්‍රිය කිරීම සම්බන්ධයෙනි. එක්තරා අන්දමකින් බලනා විට කඳවුරේ සෑම අයෙකුගේ මෙන් අපේ සේවයට ද නිසි කාල සීමාවක්, හෝරාවක් තිබුණේ නැත. විශේෂයෙන්ම මේජර් නාලක පෙරේරාගේ නියෝග ක්‍රියාත්මක වූයේ කොයි මොහොතේද, අපි සේවය ආරම්භ කරන්නට සුදානමින් සිටියෙමු.

මේ කියන සුවිශේෂ දවසේ උදෑසන පුරුදු පරිදි පුහුණු වීම් වලින් පසුව කඳවුරේ නියමිත කොටසේ එකිනෙකා සමග සුහද කතා බහක යෙදී සිටි මට ශාලාවට ඇතුලු වන මධූ දැක ගන්නට ලැබුණි. හෙමින් සිරිවේ, වැඩි දෙනෙකුගේ අවධානයට හසු නොවන්නට ඇය වෙත ලං වුණු මම අසළින් වාඩි ගතිමි. පුහුණු වීම්  වලින් පසුව  ඇය ස්නානය කරන්නට ඇත. ඇය වෙතින් විහිදුනු නාඳුනන සබන් සුවඳ විඳ ගැනීමට සමීප වන්නට සිතුනත් මෙය ප්‍රේම ආලිංගන යට සුදුසු තැනක් නොවේ. අපි යුධ හමුදා භටයින් වීමු. රැක ගත යුතු විනය ධර්ම පද්ධතියක් අපට තිබේ.
"තව මාස දෙක තුනකින් යුද්ධය ඉවර වෙනවා කියලා කියනවා..." මම  කීමි.
"ඔව්. දැන් නම් අපි සියයට සීයක්ම වගේ දිනලා තියෙන්නේ...." ඇය කීවාය.
"යුද්ධයෙන් පස්සේ ඔයා මොකද කරන්නේ..?"
"ඔයා මොකද කරන්නේ....?"
"මම ඔයාගෙන් පිළිතුරක් ලැබෙන කන් ඉන්නේ...."
"රසල්.. ඔයා හිතනවද අපිට ජිවිතයක් තියෙයි කියලා... මේ  ලෝකේ අපි වෙනුවෙන් තීරණ ගන්නේ වෙන මිනිස්සු. අපේ ජිවිත ගැන තීරණයක් ගන්න අපිට බැරි කොට කොහොමද අපි අනාගතයක් ගැන හිතන්නේ....." ඇය  කීවේ සත්‍යයකි. නො උවමනා අයුරින් සිහින් මැවීම නොකළ යුත්තකි. මෙය අපිට අයිති ජිවිතයක් නොවේ. 
ඇය මිය ගියේ මේ කෙටි වදන් හුවමාරුවෙන් පැය කීපයකට පසුවයි. ඇයත් ඇගේ කණ්ඩායමත් ගමන් ගත් හමුදා රථ පෙළ දරුණු බිම් බෝම්බ වැලකට හසුව තිබේ. මධූ ගේ ලස්සන සිරුර කුඩා අංශු වලට කැඩී සුණු විසුණු වන්නට ඇත. එදා රාත්‍රියේ යහනේදී පිපිරීමෙන් විනාශ වී ගිය  ඇගේ සිරුර නැවත වරක් මනසින් ගොඩ නැගුවෙමි. ඇය පිලිබඳ වුණු මතකය, අප අතර ඇතිවුණු කතා බහ, මතක එකතු කර සමරු පොතක් සකස් කළෙමි. ශෝකය, කණගාටුව, ප්‍රිය අයකුගේ වෙන් වීමේ වියෝව ගැන නොදැන සිටි මගේ හදවත, සිරුරේ පුරුදු නවාතැන  අමතක කර දමා අවතැන්ව සිටියේය. යළි කිසි දිනක පුරුදු වාසස්ථානය සොයා ගන්නට හදවතට හැකියාව ලැබේ දැයි මම නොදැන සිටියෙමි.

මධූ ගේ ආදාහනය මහා ඉහළින් පැවති එකක් නොවිණ. යුද්ධය අවසන් වෙමින් තිබුණු නිසා ඇගේ මරණය ට නිසි  ගෞරවය ලැබුනා යැයි කිව නොහැකිය. ඇගේ වියෝවෙන් තැවෙන මා සනසා ලන්නට කිසිවෙක් නොසිටියා  පමණක් නොව මගේ නොරිස්සුම් බවට හේතුව පවා කිසිවෙක් නො විමසූහ. කෙසේ හෝ වේවා අපි යුද්ධය ජය ගතිමු. එය ඓතිහාසික මොහොතකි. රටේ රජා පොලොව සිප ගත් මොහොතේ, ජයපැන් බොමින් විනෝද වන සගයන්ට නොදැනෙන්නට කඳවුරෙන් පිටවුණු මම මධූ සැතපෙන සොහොන් බිමේ කාෂ්ඨක පස සිප ගතිමි. අපි යුද්ධයෙන් ජය ගත් බව සැබෑය. එහෙත් ජීවිතය මා පරාජිතයෙකු කර ඇතියි මට සිතුණි. 
යුද්ධයෙන් පසුව ගෙවී යන සිව් වැනි මාසයේ දිනක මේජර් නාලක ප්‍රනාන්දු මා ඉදිරියේ පෙනී සිටියේය. එය වනාහි මාසයක නිවාඩුවෙන් පසුව ඔහු කඳවුරට පැමිණි මුල් වතාවයි. මගේ අසළින් වාඩි ගත් ඔහු දිගු වෙලාවක් මදෙස බලා සිට සුසුමක් පිට කළේය.
"රසල්.., කෑම්ප් එක වහන්න ඔඩ්ර්ස් ඇවිත්. මාත් කොළඹට යනවා. මම නම් කැමතියි ඒකට ගෙදර ඉන්න පුළුවන් හින්දා..."  ඔහු මා සමග කතා කරනවාද නැතිනම් තනියම කතා කරනවා දැයි සිතා ගන්නට නොහැකි විය. ඔහුගේ කටහඩ එතරම්ම පහළ ස්වරයක වූ හෙයිනි.
"මම දන්නවා උඹට විශේෂ තැනක් නැහැයි කියලා යන්න. උඹ ජිවිත කාලෙම ආමි එකට කැප කරපු නිසා. මම ගියාම උඹේ ලොක්කා හැටියට කව්රු එයිද දන්නේ නැහැ... හැබැයි මට පුළුවන් මෙහෙම දෙයක් කරන්න .. උඹ කැමති නම්...." මම ඔහු දෙස බැලුවෙමි. අපි දෙන්නාගේ දෙනෙත් ගැටී තත්පර කීපයක් ගෙවී ගියේය.
"මට පුළුවන් විශේෂ අවසරයක් අරන් උඹව අපේ ගෙදර එක්ක යන්න......" කිසිවක් නොකීවත් මගේ මුහුණේ සතුට මේජර් පැහැදිළිවම දකින්නට ඇත. 
මීගමුවේ මුද්ලියර්   මාවතේ හතර අතින් උස තාප්ප තනා වට කර ඇති ඇති විශාල දෙමහල් නිවසක මේජර් ප්‍රනාන්දු තම බිරිඳ, දෙහැවිරිදි නිවුන් පිරිමි දරුවන් දෙදෙනා සහ දෙමාපියන් සමග වාසය කළේය. එවන් කාරුණික  පිරිසක් මා කිසි දිනක දැක නැත. ඔවුහු මා පිළිගත්තේ පවුලේ සාමාජිකයෙකු මෙනි. මේජර් ගේ බිරිඳ ගයානි පහළ මාලයේ පහසු කාමරයක් මා හට වෙන් කර දුන්නාය. කරන්නට විශේෂ වැඩක් මට නැත. මේජර් බොහෝ වෙලාවට නිවසේ නොසිටි නිසා නිවසේ ආරක්ෂකයා වූයේ මාය . අසල්වැසියෝ මගේ කැපී පෙනෙන දේහය දුටු නිසාදෝ අතේ දුරින් සිටියහ. හමුදා සේවයෙන් ලත් පුහුණුව නිසාම දවසේ පැය විසි හතර පුරාම විමසිල්ලෙන් සිටීමේ පුරුද්ද මා සතු විය. ඒ පුරුද්ද ප්‍රනාන්දු පවුලේ කාගේත් ප්‍රශංසාවට හේතු වූ බව කිව යුතුය.

නිවුන් දරුවන් දෙදෙනා වයසින් වැඩෙද්දී මගේ ඇසුර ඉල්ලා හඬා වැටෙන්නට වූහ. දවසේ වැඩි කාලයක් මම ඔවුන් සමග ගත කළෙමි. ක්‍රීඩා කළෙමි. ප්‍රනාන්දු පවුල හොඳ කතෝලික බැතිමතුන් ය.  සෑම ඉරිදාවකම කටුවාපිටිය පල්ලියට යන ගමන හැරෙන්නට අනෙක් බොහෝ ගමන් බිමන් වලට ඔවුන් සමග එකතු වුනෙමි. ගයානී නෝනා වාහනය පදවාගෙන වෙළද සැළට යද්දී මම ඇය සමග එකතු වූයෙමි. පුතුන් දෙන්නා ගේ මොන්ටිසෝරි ගමනට මා එකතු නොවුනෝතින් ඔවුහු කේන්ති ගත්හ. රාත්‍රී ආහාර මොහොතේදී මා ළඟ නොසිටියෝතින් ආහාර ප්‍රතික්ෂේප කරන්නට පවා ඔවුහු පුරුදු වී සිටිය හ. එහෙත් මේ සියල්ලටම වඩා මා ප්‍රිය කළේ සෑම උදෑසනකම ප්‍රනාන්දු දෙමාපියන් යුවළ සමග ශාරීරික ව්‍යායාම වෙනුවෙන් ඇවිදින්නට යාමයි.
"දැන් මේ ගෙදර මට වැඩිය තැනක් තියනවා රසල්ට..." ඇතැම් වෙලාවක මේජර් සිනාසෙමින් කිවේය.

මගේ වටාපිටාව සුවපහසු විය. මා වියපත් වෙමින් සිටි බව සත්‍යයකි. සිරුර ඉල්ලා සිටින කාන්තා ස්පර්ශය ගැන සිහි වූ සැනින් මම මධූ මතකයට නගා ගතිමි. යුද්ධය අවසන් වී දස වසක් ගෙවී ගොස් තිබුණ ද, ඇය ගැන නොසිතා එකදු දිනයක් ගත නොවිණ. අපේ ඇසුර පැවතියේ මාස කීපයක් පමණි. එහෙත් දස වසක් පුරාම ඇය මගේ සිතුවිළි වල රැඳී සිටියාය. 

මධූ ..... මේ මොහොතේ ඇය පහසු  ආත්මයක ඉපදී සිටිනවා විය යුතුය. 
ගිය අවුරුද්දේ පාස්කු ඉරිදා උදේ නිවසේ මහා කළබලයකි. කටුවාපිටිය දේවස්ථානයේ පාස්කු දේව මෙහෙයට එක් වන්නට උදේ රැයින්ම අවදි වී නිවස පුරා දුව පැන නටමින් සිටි නව හැවිරිදි දරුවන්ගේ කාලගෝට්ටිය නිසා නින්දක් මට නොවිණ. සවස් යාමයේ පැවැත්වෙන්නට නියමිත සාදය සුදානම් කරන්නවුන් සවස දෙක වන විට නිවසට පැමිණෙන්නට නියමිතව තිබුණි. ප්‍රනාන්දු පවුල එදා යහමින් හැඳ පැළඳ සිටියා මට මතකය. ඔවුන්ගේ මුහුණු සතුටින් පිරී ගොස් තිබුණි. 
"නාලක... අපි ලැහැස්තියි.... යමු.." ගයානි නෝනා ගේ හඬින් සිට ගන්නා මේජර් ට නරඹමින් සිටි රුපවාහිනිය ක්‍රියා විරහිත කරන්නට අමතක විය.
"රසල් අපි ගිහින් එන්නම්..." ඔහු  කිවේය.
"රසල් අපි යනවා...බායි ..." දරු දෙදෙනා කීහ.
"බායි රසල්...., සී යූ ලේටර් ..." ගයානි නෝනා කීවාය. දෙමාපියන් ඇතුළු ප්‍රනාන්දු පවුලේ සියලු දෙනා  වාහනයට ගොඩ වන අයුරු මම බලා සිටියෙමි. ඔවුහු මට අත වැනූහ. වාහනය පිට වී ගිය පසු යකඩ ගේට්ටුව ස්වයංක්‍රිය ලෙස වැසි ගියේය. 

එසේ පිටව ගිය කිසිවෙක් යළි පැමිණියේ නැත. 

ගතවී ගිය කාලය ගැන මට වැටහීමක් නොවිණ  පෙරදා රැයේ හරිහැටි නින්දක් නොලද නිසා දෙනෙත් වැසූ සැනින් නින්ද පැමිණ තිබුණි. මා අවදි වූයේ පොළොවේ ඇති වූ දෙදරීමක් නිසාය. එක් වරම මගේ මතකයට ආවේ මධූ ගේ ජීවිතය විනාශ කළ බිම් බෝම්බ පිපිරිමයි. නැගිට නිවසේ ඉදිරිපිටට පැමිණි මට මාර්ගයේ ඇති වී තිබෙනා කළබලයේ හඬ ඇසුණි. එයත් හරියටම මධූ මිය ගිය දා වැනිම දවසකි.

එහෙත් එසේ විය නොහැකිය. යුද්ධය නිමා වී, යුද්ධය අපි ජයගෙන මේ ගෙවී යන්නේ දස වන වසරයි. අපි හතුරා විනාශ කළෙමු. මේ රටට තවත් සතුරෙකු සිටිය හැකිද...? සියල්ල යහපත් අතට හැරී, ජීවිතය සාමාකාමී ලෙස ගලා යන මේ මොහොතේ පිපිරීමක් සිදු විය නොහැකිය. 

වාතයේ පිරුණු ගෙන්දගම්  සුවඳ මට දැනේ. අහස කළු පැහැ ගෙන ඇත. මරණය පිය ගැට පෙළ පා මුලට පැමිණ තිබේ.

ක්‍රියාකර ඇති රූපවාහිනිය කියා සිටින්නේ පිපුරුම් මාලාවක් ර‍ට පුරා සිදුව ඇති බවයි. එයින් එකක් කටුවාපිටිය දේවස්ථානය තුළය. ප්‍රනාන්දු පවුල, ඒ පුංචි දරුවන් දෙදෙනා .... ඔවුන්ගේ සිරුරු හඳුනාගන්නට නොහැකි වනවා සිකුරුයි.....

තවත් හතුරෙක් බිහිවී සිටියි. එක හතුරෙක් පැමිණ මගේ මධූ මරා දැම්මේය.
දෙවැන්නා මගේ පවුල විනාශ කර දැමුවේය.

පැය  ගණන්, දවස් ගණන් මම ගේට්ටුව විවර වන තෙක් මම බලා සිටියෙමි. දහවල, රාත්‍රිය ගෙවී අලුත් දවස් උදා වෙද්දී මම මග බලා සිටියෙමි. මුළුතැන් ගෙයි පුරා විසිර තිබුණු යම්  දෙයකින් කුස පුරවා ගත් මම ඇතැම් අවස්ථාවක දරුවන් දෙදෙනාගේ කාමර වලට ගොඩ වී ඔවුන්ගේ සිගිති සුවඳින් හදවත පුරවා ගතිමි. නිවසේ නිදන කාමරයේ මේජර්  සහ ගයානි නෝනා සැතපෙන යහනේ දිගා වුණු මම ඔවුන්ගේ සුවදින් ලය පුරවා ගතිමි. මේ සැබෑ මිනිස් සුවඳ මිය යනතුරු සිරුරේ රඳවා ගන්නට හැකි නම්....

රසල්.... අපි ආවා.... උඹ බය උනා නේද....?  මම තිගැස්සී අවදි උනෙමි. නැත. කිසිවෙක් නැත. ගේට්ටුව වැසි තිබේ. එය සිහිනයකි. සැබෑ නොවන සිහිනයකි.
එහෙත් විනාශයෙන් පසුව ගෙවී යන දෙවන් සතියේ ගේට්ටුව විවර විය. විශාල ලොරියක් වත්තට ඇතුළු වුනු අතර ඒ සමගම පැමිණි වාහනයෙන් බැස  ගත්තේ දන්නා හඳුනන පිරිමියෙකි. ඔහු මේජර් නාලක පෙරේරා ගේ බාල සොහොයුරා බව මම දුටිමි. ඔහුත් සමග  තවත්  දෙදෙනෙකි. ලොරියේ සිටි සේවකයන්ට නිවසේ භාණ්ඩ පටවා ගන්නැයි අණ දුන් සොයුරා මා අසළට පැමිණ මදෙස බලා සිටියා විනා කිසිවක් කිවේ නැත. මේ පිරිස ප්‍රනාන්දු පවුල ට අයිති දේ මෙසේ ඩැහැ ගනිද්දී එයට විරෝධය පෑමේ හැකියාවක් මට නොවිණ . සිරුරේ සියලු ශක්තිය වාෂ්ප වී ගියා වැනිය. අන්තිමේදී පැය  දෙකක් ගත වෙද්දී ලොරිය පිටවී ගිය අතර  සොයුරා තම මිතුරන් දෙදෙනා සමග මදෙස බලා සිටියේය. මේ මිහිමත මට අයිති තැන මා හරියාකාරව හඳුනා ගත්තේ ඒ මොහොතේදීය.
"මොකද මූට කරන්නේ...?" මදෙස බලා සිටින අයෙක් සොයුරා ගෙන් ඇසීය .
"මං දන්නේ නැහැ බං ..මේ අපේ අයියා වන්නියේ කෑම්ප් එකේ ඉදං අරං ආව බල්ලා ...."
"මොකක්ද මුගේ නම....?"
"රසල්...."
"යකෝ රසල් කියන්නේ මිනිහෙක්ට දාන නමක්නේ..."
"අපේ අයියා මිනිහෙක්ට වගේ තමයි මූට සැළකුවේ ..."
"හරි දැන් ඒවායින් වැඩක්  නැහැ...මූව ඇතුලේ දාලා යන්න බැහැනේ...වත්ත පුරාම ජරා කරලා වන කරයි...."
"සුමිත්...අරං පලයන්කෝ ගෙදර හොඳ බල්ලා මූ .."
"අනේ මේ.., මූ හෙන වයස පාටයි... එළවලා දාපං ..අපිට පරක්කු වෙනවා..."
"ඒයි... රසල් ... පලයං එළියට ... දුහ්.... බල්ලා...."

තවත් විනාඩි කීපයකට පසු මුද්ලියර්  මාවතේ ඇවිද යන මට සිරුර වාරු කර ගන්නට නොහැකි විය. සත්‍යයකි. මා දැන් මහල්ලෙකි. එහෙත් මේ මහලු සුනඛයා වනාහි හතුරා ගෙන් රට බේරා ගන්නට උර දුන් සුනඛයෙකු බව අවට සිටියෝ කිසිවෙක් දැන සිටියේ නැත.  පුපුරණ ද්‍රව්‍ය කොපමණ ප්‍රමාණයක් මා සොයා ගත්තේද.. මගේ ඉව මතින් සතුරන් කොපමණ පිරිසක් ග්‍රහණයට හසු වී ඇතිද... කිසිවෙක් නොදනියි. මා හුදෙක්ම බල්ලෙක් පමණි.

අසළ සිල්ලර කඩයක් අසළ නැවතුණු මම එදෙස බලා සිටියෙමි. කුස ගින්න දරා ගන්නට නොහැකිය.
"මේ අර මේජර් ලාගේ බල්ලා නේද...?" අයෙක් අසනු ඇසිණි .
"ඔව්. ඌටත් ගිය කළක් ... මේජර් ලාගේ සංහතියම බෝම්බෙට ගියාට පස්සේ දැන් මූත් අනාතයි....ඔන්න ඔය මස් කට්ටක් දාපං.."
"එපා එපා...එතකොට හැමදාම මෙතන්ට එන්න පුරුදු වෙයි......"
"පෙනුමෙන් නම් හොද ජාතියේ බල්ලෙක් වගේ..."
"ඒත් බල්ලෙක්නේ..." 


Nissanka Rajapaksa

unread,
Dec 16, 2023, 3:53:06 PM12/16/23
to INDRAKA group
47
බූලා සහ අම්මා

- අනුල ද සිල්වා 


අදින් වස­ර­කට පමණ පෙර වීදි සුන­ඛ­යකු විසින් මගේ දකුණු පාදයේ ඇස්ව­ටය ළඟ සපා කෑමෙන් පසු මා තුළ බල්ලන්ට ඇත්තේ මහා බියකි. ඒ බියත් සම­ඟම බල්ලන් කෙරෙහි මහා පිළි­කු­ලක් ද මා තුළ ඇති ­විය. බල්ලකු දකින විට පාරේ අයි­න­ටම යන මම සම­හ­ර­විට නැව­තුණේ කානු­වට ද බැසී­මෙන් පසු­වය.  

“පුදුම බලු භීති­යක්නෙ සුජිත්ට තියෙන්නෙ.”  

මගේ මිතුරු මිතු­රි­යන් පම­ණක් නොව බොහෝ­විට මගේ බිරිය නන්දිතා ද මට විහිළු කළාය.  

කල­කට පෙර නගර සභාව විසින් වීදි සුන­ඛ­යන් බලු වාහ­න­ය­කට දමා රැගෙන ගිය බැවින් මඟ තොටේ බල්ලන් සිටියේ සුළු­වෙනි. එහෙත් අද එවැ­න්නක් සිදු­වන්නේ කලා­තු­ර­කිනි. බල්ලන් මරා දැමීම පාප කර්ම­යක් සේ සිතා ඇති බැවින් අද මඟ­තොට ඇවි­දින බල්ලෝ බොහෝය.  

මගේ බිරිය මෙන්ම මිතුරු මිතු­රි­යන් ද පව­සන අන්ද­මට බලු භීතිය මා තුළ ඇති කළේ කිසි­යම් ලජ්ජා­වකි. බල්ලකු දකින විට ඈතට දුව­යන මා තුළ වෙනදා තිබූ ශක්තිය හීනවී ගියා­සේ ය.  

****  

මේ අතර මීට පෙර හදි­සියේ දිනක් අපි අපේ ළඟම නෑදෑ­යකු වූ පේම නැන්දා බල­න්නට යෑමට තීර­ණය කළෙමු. පේමා නැන්දාගේ නි‍ෙවසේ පොම­නේ­රි­යන් බලු පැටි­යකු සිටියා මට මත­කය.   

ඇඟ පුරා ළා දුඹුරු පැහැති ලෝම පිරි ඌ හරි ලස්ස­නය. බල්ලා සපා කෑමට පෙර බල්ලන්ට ආද­ර­යක් දැක්වූ මම ඌ ඔසවා උකු­ළට ගතිමි. ඌ ඔසවා උකු­ළට ගැනී­මට මගේ පස් හැවි­රිදි දිය­ණිය මල්කි ද දැඩි උත්සා­හ­යක් ගැනීම නිසා මම බලු­පැ­ටියා සුර­තල් කිරී­මට දිය­ණි­යට ඉඩ දී පසෙ­කට වුණෙමි.  

“ඔය ලස්සන නිසා මාමා දන්නෙ නැතිව අර­ගෙන ඇවිත්. බැල්ලි­යක්. පැටව් දාන්න ගත්තම තමයි වැඩේ තියෙන්නෙ.” නැන්දා කීවේ අම­නා­ප­යෙනි.   

“සල්ලි­ව­ලට ද ගෙනැ­විත් තියෙන්නේ” මගේ බිරිය නන්දිතා ඇසු­වාය.  

“අපොයි නෑ. මගේ යාළු­වෙක් මට තෑග්ග­කට දුන්නෙ.”  

එඩ්වඩ් මාමා කීවේ සතු­ටිනි.  

“බැල්ලි­යෙක් හින්ද නිකම් ඇඟේ ගහන්න ඇති.”  

නැන්දාගේ මුහුණේ අම­නා­පය වැඩි වෙමින් තිබිණ.  

“බල­න්නකො පැටව් ගැහු­වම මං කරන දේ.” ‍  

මාමා කීවේ සතු­ටින් හිනැ­හෙ­මිනි.  

“මොකද විකු­ණ­නන්ද යන්නෙ?”  

නැන්දාගේ පුලුටු මුහුණ හැකි­ළෙ­මින් තිබිණ.   

අප කතා­බහ කර­මින් සිටි­යදී මල්කි බලු පැටියා බිමින් තබා ඌ සමඟ සෙල්ලම් කර­මින් සිටි­යාය. මල්කි පසු­පස බලු­පැ­ටියා දුව­න්නට පටන් ගත්තේ උඩ පනි­මිනි.   

“හරි හුර­තල් නේද සුජිත්.”  

නන්දිතා කීවේ මගේ උර­හි­සට අත තබ­මිනි.  

“ලොකු වෙන­කොට ඔය හුර­තල් අඩු‍ ­වෙ­නවා.”  

පේමා නැන්දා කීවේ අප අත­රට එමිනි.  

“නැන්දේ ලොකු­ වෙලා පැටව් දැම්මම අපට පැටි­යෙක් ඕනි.”  

නන්දිතා කීවේ සැක­යෙන් මා දෙස බල­මිනි.   

ඒ ඇසූ මල්කි බලු­පැ­ටියා ඔස­වා­ගෙන විත් මගේ අතේ එල්ලී උඩ පැන්නාය.  

“ආච්චි බලු­පැ­ටි­යෙක් දෙනව නේද?”  

“ඒ තව කොයි කාලෙ­කින්ද? පැටව් දාන්න ලොකු වෙන්න එපායැ.”  

පේම නැන්දා කීවේ මල්කිගේ හිස අත ගාමිනි.  

“එච්චර කාල­යක් යන්නෙ නෑ. වැඩිම උණොත් අවු­රුදු එක­හ­මා­රයි. මං ඉස්සෙ­ල්ලම පැටිය දෙන්නෙ මල්කි දුවට තමයි.”  

මල්කි බලු පැටියා බිම තබ­මින් යළිත් උඩ පැන්නාය. එවර ඈ උඩ පැන්නේ එඩ්වඩ් මාමාගේ අතේ එල්ලෙ­මිනි.  

මේ සිද්ධි­යෙන් මාස කිහි­ප­යක් ගත­විය. බල්ලා සපා කෑමෙන් පසු­වද මාස ගණ­නක් ගත­වෙ­මින් තිබිණ.   

පේමා නැන්දාගේ බැල්ලිය පැටව් දමා ඇති ආරං­චිය අප නි‍වෙ­සට ගෙන­ආවේ අපේ ගෙදර වැඩ­පළට උද­ව්වන සොමි­නෝ­නාය.  

සොමි­නෝනා අපේ ගෙදර මෙන්ම පේම නැන්දාගේ නිවසේ වැඩ­ප­ළ­ටද උද­ව්වන තැනැ­ත්ති­යකි.  

“අන්න පේම නෝන­ලගේ පොම­නේ­රිය් කික්කි පැටව් දාල. පුළුං බෝල වගේ. තුන්දෙ­නෙක් කූඩුව ඇතුළෙ පෙරළි පෙරළි ඉන්නවා. ආසාවේ බැහැ. මටත් ආස හිතුණා එකෙක් ඉල්ල­ගෙන එන්න. ඒත් උන් ඇති දැඩි කරන්න තරම් සල්ලි බාගෙ අප ළඟ තියෙන එකක්යැ. මල්කි බේබිට එකෙක් වෙන්ක­ර­ලම තියෙ­නව කිව්වා. සුදු­පා­ටට හුරු එකා වෙන්න ඕනි.”  

“බලු පැටව් මොන පාටද සොමි නැන්දෙ?”   

මල්කිට බලු­පැ­ටව් දැක­ග­න්නා­තුරු ඉව­සි­ල්ලක් නොවීය.   

"ළා දු­ඹුරු පාටයි. එකෙක් සුදට හුරුයි.”  

“එහෙ­නම් අපි සුදු එකා ඉල්ල ගමු.”  

මල්කි අම්මගේ අතේ එල්ලෙ­මින් කීවාය.  

“හ්ම් හ්ම් ගිහින් බලන්න බැරියෑ”   

නන්දි­තාගේ සිතේ තිබුණෙ පුදුම සතු­ටකි. ඔවුන් දෙදෙනා පේම නැන්දාගේ නිව­සට යන්නේ මල් පැල­යක් දෙකක් උදු­රා­ගෙන මල් පොකු­රක්ද කඩා ගන්නා අද­හ­සිනි. එහෙත් මෙවර සිහි­ක­ල්ප­නාව තිබුණේ බලු­පැ­ටියා දැක බලා ගන්නා තුරුය.   

දෙදෙ­නා­ටම ඉව­සි­ල්ලක් නොවූ­යෙන් අප තිදෙනා දින දෙක­කට පසු නිවාඩු ඉරිදා පේම නැන්දාගේ නි‍ෙවස බලා පිට­ත්වීමු.   

සොමි­නෝනා අත අප පණි­වි­ඩ­යක් යවා තිබූ හෙයින් පේම නැන්දාත් එඩ්වඩ් මාමාත් අප බලා­පො­රො­ත්තු­වෙන් සිටි­යෝය. කොයි­යම් දිනක අප පැමි­ණි­යත් අපට බත්ක­ටක් නොදී යන්න ඉඩ­දීම පේම නැන්දාගේ සිරිත නොවීය.   

“අද නම් කෑම කාල තමයි යන්නෙ.”  

පේම නැන්දා අප ගෙඩ ගොඩ වෙද්දීම පැව­සු­වාය.   

“අපොයි බෑ අද මට කන්තෝ­රුවෙ වැඩක් තියෙ­නවා.”  

“අද ඉරිදා”  

මා නිද­හ­සට කරුණු පව­සද්දී එඩ්වඩ් මාමා ඇසුවේ මා බොරු­වක් ‍කියතැයි සිත­මිනි.  

“අස්වෙලා ගිය කෙනෙ­කුට පාටි­යක් දෙනවා. ඒකයි කන්තෝ­රුවෙ වැඩක් කිව්වෙ.”  

“ඒක මිසක්ක.”  

‍එඩ්වඩ් මාමා සැකය දුරු­ කර ගත්තේය.  

“කෝ පේම අත්තම්මෙ බලු පැටව්. මට බලන්න ඕනි. ඉක්ම­නට පෙන්න­න්නකො.”  

මල්කිගෙ හදි­ස්සිය මුවින් පිට­විය.  

“හරි හරි බලමු බලමු. අර පිටි­පස්ස පැත්තෙ කූඩුවෙ ඉන්නව.”  

අප කාටත් කලි­යෙන් මල්කි පිටු­ප­සට දුව ගියාය. පැට­වුන් අම්මා සමඟ සිටියේ දැල් ගැසූ කූඩු­වක් තුළය.  

“බෝල­ගෙඩි වගෙයි.”  

නන්දිතා කීවේ කූඩුව අස­ලට යමිනි.  

මල්කි කූඩුවේ එල්ලී­ගෙ­නම සිටි­යාය. බැල්ලි­යගේ තන­පු­ඩු­ව­ලින් කිරි උර­මින් සිටි බලු­පැ­ටව් අපේ දසු­නෙන් කල­බ­ල­යට පත්ව කිරි ඉරීම නවතා පෙරළි පෙරළී මඳක් ඈතට ගියෝය. බැල්ලිය අප දෙස බැලුවේ අක­මැති බැල්මකි. අප පැමිණ ඇති කාරිය ගැන ඌට ඉවක් දැනුණා වත්දැයි මට සිතිණ.   

“බැල්ලිගෙ මූණ වෙන­ස්වුණා නේද?”  

මම නන්දි­තාගේ කනට කෙඳි­රු­වෙමි.  

“ඔව් ඒ වගේ.”  

“අපි දැන් මොක­වත් නොකර ගෙදර යන­කො­ටම පැටිය කාර්එ­කට දාගමු.”  

මම තීර­ණය කළෙමි.  

“ඔව් එහෙම කරමු.”  

නන්දිතා මගේ තීර­ණ­යට එකඟ වූවාය.  

එහෙත් මල්කි කූඩුව වෙතින් ඉව­තට ගැනීම මහත් අප­හසු කාර්ය­යක් විය.  

“පුතේ මෙහාට ආවනං.”  

පේම නැන්දා මල්කි ඇම­තු­වාය.  

“ඇයි අත්තම්මෙ.”  

“මං පුතා­ට ම කියල හැලප තැම්බුව. වැලි­ත­ල­පත් තියෙ­නව.”  

මල්කි වැලි­ත­ල­ප­ව­ලට කෑද­රය. ඈ පේම නැන්දාගේ අතින් අල්ලා­ගෙන  ‍ගෙතු­ළට රිංගු­වාය.   

“බලු­පැ­ටව් මේව කන්නැද්ද අත්තම්මෙ.”  

“දැම්ම කන්නෙ නැහැ. ලොකු වෙන­කොට කාවි. දැන් බොන්නෙ කිරි විත­ර­යිනෙ. ටික ටික බත් කන්න පුරුදු කරන්න වෙනවා.”  

“හරි හරි මං බත් කන්න පුරුදු කර­න්නම්.”  

“බත් එක්ක මස් හරි මාළු හරි අනල දෙන්න වෙනව. බලු පැටව් නැත්තන් බත් කන්නෙ නෑ.”  

“ඒක මොකක්ද. තාත්ත ගෙනත් දේවි. හැබැයි අම්ම­වත් ‍අපේ අත්ත­ම්ම­වත් මස් නම් අල්ලන එකක් නැහැ.”  

“ඇයි සොමි­නෝන ඉන්න­වනෙ.”  

“ඔව් නේන්නම්.”  

එදින දහ­වල අප නි‍ෙව­සට පැමි­ණියේ බලු පැටි­යාද වාහ­න­යට දමා­ගෙන පේම නැන්දා ඔතා­දුන් ලොකු බත්මු­ලක් ද අතැ­ති­වය. මම පාටි­යට ගිය අතර මල්කි අම්මත් අත්ත­ම්මාත් සමඟ බත්මුල බෙදා­ගෙන කන්නට ඇත.  

“එත­කොට බලු පැටි­යට?”  

මල්කි ඇසුවේ අම්මාට කියා බත් කටක් කවා ගනි­ද්දීය.

“සුදු කිරි එකක් හදල දෙමු.”  

ඒ ඇසූ සැනින් අත්තම්මා සුදු කිරි කෝප්ප­යක් සාදා ඒ පිඟන් පීරි­සි­ය­කට දමා බලු පැටි­යාගේ මුවට ළං කළාය. බලු­පැ­ටියා තලු මර­මින් දිවෙන් ලෙව­ක­මින් බොන්නට පටන් ගත්තේය.  

“දැන් හරි කිරි බොන­වනෙ. අපි හෙට අනින්ද වෙන­කොට මාළු එක්ක බත් හරි පාන් හරි අනල කන්න දෙමු.”  

නන්දිතා පැව­සුවේ සියල්ල විසඳී ඇති බව සිත­මිනි.  

බලු පැටියා වැඩෙ­න්න වැඩි දව­සක් ගත නොවීය. ඌට අවශ්‍ය එන්නත් සියල්ල දීමෙන් පසු මම සෑහී­ම­කට පත්වීමි.  

බලු පැටියා නිදා ගත්තේ මල්කි සමඟ ඇගේ කොටු ඇ‍ඳේය. ඇගේ බෝනි­ක්කන් ඇතුළු සෙල්ලම් බඩු සියල්ල පෙනෙ­න්න­වත් නොවීය. ඒවා කොතැ­නක හෝ සැඟවී ගියේ ඇය­ටත් හොරෙනි. අවු­රු­ද්දක් ගත­වෙද්දී කෑම බීම හා සාත්තු සප්පා­යම් හොඳින් ලැබීම නිසා බලු පැටියා හොඳින් වැඩිණ.   

මේ අතර අම්මා සුළු වශ­යෙන් ඇදුම රෝග­යෙන් පෙළු­ණාය. සෙම් අමාරු හා කැස්ස ටිකෙන් ටික වැඩි වූ බවක් අපට දැනිණ. බලු පැටි­යාගේ හුර­තල් නිසා මා තුළවූ බලු භීතිය මුළු­ම­නින්ම අඩු­වෙ­මින් තිබිණ. බලු­පැ­ටියා කූඩුවේ සිටියේ කලා­තු­ර­කිනි. ඌ වැඩි­පුර සිටියේ ආලි­න්දය පුරා නිදැල්ලේ සෙල්ලම් කර­මිනි.  

ඉඳ­හිට බලු මයිල් තට්ටු­වක් ආලි­න්දය පුරා දක්නට ලැබු­ණද අම්මා ඒවා අපට නොපෙ­නෙ­න්නට පාන්ද­රින්ම අතුගා දැමු­වාය.  

මේ අතර අම්මාගේ අස­නී­පය වැඩිවී ඇයට හුස්ම ගැනීම සඳහා නෙබි­යු­ලේ­ට­ර­යක් පාවිච්චි කිරී­මට සිදු­විය. මෙය මෙසේ සිදු­වෙද්දී අම්මා හදි­සියේ දිනක් සාලය මැද බිම ඇද වැටී තිබිණි. නි‍ෙවසේ සිටියේ මා පමණි. මම වහා ඈ රෝහල් ගත කිරී­මට උත්සුක වීමි. අම්මා රෝහල් ගත­ක­රන විටත් මිය‍ ­ගොස් තිබිණි. හදිසි මර­ණ­යක් නිසා මිනිය කප­න්නට සිදු­ විය.  

වෛද්‍ය වාර්තාවේ මූලි­කව සඳ­හන් වූයේ ලේ කැටි­යක් හිර­වීම මර­ණ­යට හේතුවූ බවය. එහෙත් එහි පහ­ළෙන් සඳ­හන්වූ දෑ වෛද්‍ය­ව­රිය, මට පෙන්වූයේ රහ­සක් වශ­යෙනි.  

“පෙණ­හැ­ලි­ව­ලත් පපුවෙ නහ­ර­ව­ලත් බලු­ම­යිල් තට්ටු තට්ටු බැඳිල තිබුණ.”  

“මොනව”  

මම හිස අත්ගසා ගතිමි.  

බලු භීතිය යළි මගේ සිත යට පොර­බ­ද­න්නට විය. අව­ම­ඟුල අව­සන්වී දෙදි­න­කට පසු මම තීර­ණ­යක් ගතිමි.  

නන්දිතා හා මල්කි පාසල් ගිය පසු මට ඒ තීර­ණය ක්‍රියා­ත්මක කිරී­මට අව­ස්ථාව ලැබිණ. මම බූලා වාහ­නයේ දමා ගෙන නි‍ෙව­සින් පිට­වීමි. කිලෝ මීටර් දෙකක් පමණ ගමන් කිරී­මෙන් පසු මට හීන් දිය කඩි­ත්තක් අසල වන­රො­දක් හමු­විය. මම වාහ­නයේ දොර ඇරිය සැණින් බූලා පිට­තට පැන්නේය.   

මම වාහ­නය හර­වා­ගෙන වහා ආපසු පැමි­ණි­යෙමි. මල්කි හා නන්දිතා නි‍ෙව­සට පැමිණි පසු බූලා නොදැ­කී­මෙන් මහා කල­බ­ලක් ඇති ­විය. මල්කි පම­ණක් නොව නන්දිතා ද කඳුළු සැලු­වාය.  

අත්තම්මා නැති වූවා­ටත් වැඩි තරම් වේද­නා­වක් මල්කි තුළ ඇතිවූ බවක් මට දැනෙ­න්න විය.  

https://archives1.silumina.lk/2020/03/07/%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%92/%E0%B6%B6%E0%B7%96%E0%B6%BD%E0%B7%8F-%E0%B7%83%E0%B7%84-%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F


Nissanka Rajapaksa

unread,
Dec 17, 2023, 5:53:01 PM12/17/23
to INDRAKA group
49
අන්තෝනිස් අයියා

- නන්දසේන හේරත්

අන්තෝනිස් අයියා හැමදා ම උදේ පාන්දරින් පිබිදෙයි. ඉන් පසු ඔහු තුවා ලේන්සුවකින් සුම්බරයක් බැඳගෙන උදැල්ල ද කර තබාගෙන දෙවට පාර දිගේ පල්ලම් බැස වෙල් යාය දෙසට යයි. තමාගේ කුඹුරුවලට ප්‍රමාණවත් තරම් ජලය ලැබී ඇද්ද, කක්කුට්ටන් ආදී සතුන්ගෙන් හානි සිදුවී ඇද්ද, වල් පැල මතුවී ඇද්ද යනාදී කරුණු ගැන හොඳින් සොයා බලන ඔහු, ජලය අඩු වී ඇති නම් ඇළ මාර්ගය ශුද්ධ පවිත්‍ර කොට ජල පාර නිවැරැදි කිරීමටත්, කක්කුට්ටන් හාරා ඇතොත් ඒවා පාගා දැමීමටත්, කඩාඬු කැඩී ඇත්නම් ඒවා පිළිසකර කිරීමටත් වග බලා ගනී. මේ සියල්ල අවසන් කොට දොළට බැස මුහුණ කට සෝදා ගන්නා ඔහු ආපසු නිවසට එන්නේ දෙපැයකට පමණ පසුව ය. ඒ එන විට‍ ඔහුගේ දරුවන් සියලු දෙනා රාජකාරිවලට ගොස් හමාර ය.

දිනක් සුපුරුදු පරිදි උදේ කුඹුරට ගොස් සිය වැඩ කටයුතු නිමා කර ආපසු එන අන්තෝනිස් අයියාට සිය වැඩිමල් සහෝදරයාගේ පුතා වන රත්නපාල අතරමගදී හමු විය.

“බාප්පා වෙල පැත්තට ගියා වගේ.”

“ඔව් මේ කඩාඬුවක් කැඩිලා තිබිලා බැඳලා දැම්මා”

“මාත් මේ බාප්පා හම්බ වෙන්න හැන්දෑකරේ ගෙදර දිහා එන්න කියලයි හිතාගෙන ඉන්නෙ.”

“ඒ මොකටද රත්නපාල?”

“පොඩි කාරණාවක් ගැන කතා කර ගන්න කියලා”

රත්නපාලගේ වචන ඇසූ අන්තෝනිස් අයියාගේ සිත තුළ කුතුහලයක් ඇති විය. නිතර දෙවේලේ අතරමගදී හමුවන රත්නපාලට ගෙදරට ම ඇවිත් කීමට තරම් ඇති විශේෂ කාරණාව කුමක්ද?

“මොකක්ද කාරණාව, දැන් කියන්න බැරි දෙයක් ද?”

“නෑ මම හැන්දෑකරේ ගෙදර ඇවිත් ම කියන්නම්කො.”

අන්තෝනිස් අයියාට එම කාරණාව දැන ගන්නා තුරු ඉස්පාසුවක් නැත.‍

“ආයෙ මොනවටද කල් දම දමා ඉන්නේ. කියන්න තියෙන දෙයක් දැන්ම ම කියාපන්.”

රත්නපාල මදක් එකෙළ මෙකෙළ ගසන්නට විය.

“කියාපන් රත්නපාල.... මොකද්ද කාරණාව?”

“මං...මේ.... බාප්පගෙන් අහන්න කියලා හිතාගෙන හිටියේ අර දෙණියේ කුඹු‍රේ බාප්පාට අයිති කොටහ විකුණන්න හෙම හිතේ තියෙනවද කියලා.”

ඒ ඇසූ අන්තෝනිස් අයියා මදක් කල්පනාකාරී විය. දෙණියේ කුඹුර යනු ඔහුගේ පිය පරම්පරාවෙන් පැවත එන කුඹුරකි. එය වගා කෙරෙන්නේ තට්ටු මාරු ක්‍රමයට ය.

අන්තෝනිස් අයියාට සහෝදරයකු හා ‍සහෝදරියන් තිදෙනකු සිටින බැවින් ඔහුට එම කුඹුර වගා කිරීමට ලැබෙන්නේ අවුරුදු පහකට වරකි. එහෙත් සහෝදරියන්ගේ වාර තුන ද රත්නපාල ම අ‍ඳේට වැඩ කරන නිසා ඔහුට එහි හතර වාරයක් වගා කිරීමට අවස්ථාව ලැබේ. එබැවින් එම කුඹුර තමන්ට වඩා රත්නපාලට වටිනා එකක් බව අන්තෝනිස් අයියාට රහසක් නොවේ.

“ඇයි රත්නපාල එහෙම ඇහුවෙ?”

“නෑ... මේ... නැන්දලාගේ කොටස් තුන නම් මට ම ගන්න කියලා කීවා. බාප්පාගේ කොටහත් ලැබුණොත් මට කුඹුරෙ සම්පූර්ණ අයිතිය ලැබෙනවානේ. එහෙම උණොත් මට ඒක තව ටිකක් දියුණු කරගන්න පුළුවනි.”

අවුරුදු පහකට වරක් තට්ටු මාරුවට එන හවුල් කුඹුරක් තව දුරටත් තබා ගැනීමට වඩා එය විකුණා මුදල් කර ගැනීම හොඳ යැයි අන්තෝනිස් අයියාට ද නොසිතුණා නොවේ. එහෙත් ප්‍රශ්නය වී තිබුණේ මෙතෙක් ඊට නිසි ගැණුම්කරුවකු ඉදිරිපත් නොවීමයි‍. රත්නපාල එය මිලට ගැනීමට කැමති නම් එය ඔහුට දීම හැම අතින් ම සුදුසු ය. ඒ ඔහු තම එකම සහෝදරයාගේ පුතා වීම නිසා පමණක් නොව ඔහු ගමේ ඉන්නා ඉතා හොඳ ගොවියකු ද වීම නිසා ය.

“හ්ම්... එහෙම නම් ඉතින් මගේ කොටහත් උඹ ම ගනිං... මටත් දැන් ඕවා තියාගෙන මොනවටද? මොකද අපේ ගෙදර කුඹුරු කරන කෙනෙක් ඉන්නවා කියලා යැ. මගෙන් පස්සේ ඕවා ඔක්කොම පාළුවට යයි.”

“බාප්පා කීයක් බලාපොරොත්තු වෙනවා ද දන්නෙ නෑ.”

“මොනවද බං ඕවාට මට උඹට ගණන් හිලව් කියන්න පුළුවන්ද? ඕවා දෙමවුපියන්ගෙන් හම්බ වෙච්ච දේ නේ. අනිත් අයට දෙන ගණනක් මටත් දියන්...”

“නැන්දලා නම් වී ලාහක් දහ දාහ ගාණේ දෙන්න කිව්වා.”

“හ්ම්... එහෙනම් ඉතින් මටත් ඒ ගාණ ම දියන්”

“ලබන බදාදා නැන්දලාගේ කොටස් ලියලා දෙන්න පොරොන්දු වෙලයි ඉන්නේ.”

“එහෙම නම් මගේ කොටහත් එදාට ම ලියාගන්න බැරියැ”

රත්නපාල අන්තෝනිස් අයියාගේ දරුවන් මෙන් ඉගෙන ගැනීමට දක්ෂකම් නො දැක්වූවත් ගොවිතැන් වැඩට උපන් හපනෙකි. ගොවිතැන යනු හැමට ම කළ හැකි සරල කටයුත්තක් නො වන බව අන්තෝනිස් අයියා දනී. ඒ සඳහා හොඳ ඉවසීමක් හා අත් ගුණයක් තිබිය යුතු ය. රත්නපාලට ඒ සියල්ල හොඳින් පිහිටා ඇත.

මුල් කාලයේ ඔහුගේ බිරිය වන පොඩි නෝනා ගෙදර දොර හා කුඹුරු වතුපිටිවල වැඩ සඳහා ඔහුට උදව් කළ නමුත් මෑතක සිට ඇය ද එවැනි දේ නොකරයි. කුස්සියේ වැඩට වැඩකාර කෙල්ලක් සිටින නිසා දැන් ඇය අතක් පයක් හොල්ලා කිසි ම වැඩක් කරන්නේ නැත.

කුඹුරේ සිට පැමිණ පස්සා දොරෙන් ‍ ‍ගෙට ගොඩ වුණ අන්තෝනිස් අයියා කුස්සියේ මේසය උඩ තිබුණ කහට කෝප්පය අතට ගෙන, සීනි ටිකක් ද අල්ලට දමා ගෙන, බංකුව මත වාඩි වූයේ පොඩි නෝනා දෙස ද බලමිනි.

“අද වෙලට ගිහින් එද්දී මට රත්නපාල මගදී හම්බ වුණා.”

“ඉතින්”

“දෙණියේ කුඹුරේ අපේ පංගුව විකුණනවා ද කියලා ඇහුවා. විකුණනවා නම් එයා ඒක ගන්න කැමතිය කියලාත් කීවා.”

“ඉතින් ඔයා මොකද කිව්වෙ?”

“අනික් අයගේ කොටස් තුන දැනටමත් එයාට දෙන්න කැමැති වෙලාලු තියෙන්නේ.‍ ඉතින් මාත් අපේ කොටස එයාට ම ගන්න කියලා කීවා.”

ඒ ඇසූ පොඩි නෝනා දෑස් දල්වා කුහුල් සිතින් ඔහු දෙස බැලුවාය.

“ඔයා මොකොට ද ළමයින්ගෙන් අහන්නේ නැතිව එක පාරට ම හිතු මතේට කුඹුරු විකුණන්න පො‍රොන්දු උණේ?”

“ළමයින්ගෙන් අහන්නේ මොනවට ද? ඕවා ඔය පරම්පරාවෙන් එන හවුල් කුඹුරු. අපටත් අයිති පහෙන් පංගුවයි. ‍ඕවා පිට විකුණන්න පුළුවන් කුඹුරු නෙවි‍. අපේ කෙනෙකුටම තමයි දෙන්න වෙන්නේ.” “ඒ කොයි හැටි වුණත් ඔයා ඉඩ කඩම් විකුණන්න තනියම තීරණය කරපු එක වැරැදියි.”

“ඔහේ කිවුවාට පරම්පරාවෙන් එන දේවල් පිට අයට දෙන එක යුතු නෑ නේ.”

“ඔයාට ඉතින් පරම්පරාවෙ මිනිහෙක් මොනවා හරි කිව්වොත් ඒක ඉස් මුදුනින් විශ්වාසයි.”

“කොයි දේටත් ඉස්සර වෙලා ම පිහිටට ඉන්නේ තමුන්ගේ මිනිස්සු තමා. කවදා හරි මගේ මිණියට කර ගහන්න ඉන්නෙ උන්.”

“හරි දැන් කීයට ද විකුණන්න යන්නේ.”

“වී ලාහට දහ දාහක් දෙනවා කීවා. ඒක තමා දැන් ඔය වාගෙ කුඹුරක ගාණ. අක්කගෙයි නංගිලාගෙයි කොටස් දෙකත් ඒ ගාණටමලු දෙනවැයි කීවේ.”

“රත්නපාල ඔයාට එකක් කියලා අනෙක් අයට දැනට මත් අත යට මුදල් දීලා ඇති.”

“රත්නපාල කවදාවත් එහෙම බොරු කරන්නේ නෑ. අනිත් එක උගෙන් මට කොච්චර උදව් උපකාර තියෙනවාද? යන්තම් මගේ කුඹුරු වැඩ ටික කර ගන්නෙත් ඌට පිං සිද්ද වෙන්න‍. නැතුව අපේ ළමයි කුඹුරකට බහිනවා කියලායැ.”

“දොස්තරලාට ඉංජිනේරුවන්ට කුඹුරට බහින්න පුළුවන් ද? එහෙම කළොත් යසට තියෙයි‍. ‍කෝක උණත් මන් ළමයින්ගෙන් අහල බලන කල් ඔයා ඔය කුඹුරු විකුණන්න හදිස්සි වෙන්න එපා.”

“මන් දැන් ඒක රත්නපාලට දෙනවා කියලා පොරොන්දු වෙලා ඉවරයි. ඒක මට වෙනස් කරන්න බෑ.”

අන්තෝනිස් අයියා ගේ තුළට ගියේ තරමක කේන්තියෙනි. ඔහු පොඩි නෝනාගෙන් එවැනි ප්‍රතිචාරයක් කිසිසේත් ම බලාපොරොත්තු වූයේ නැත.

ආරංචිය ඇසූ දරුවෝ ඒ සම්බන්ධයෙන් තම තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්නට වූහ.

පළමුවෙන් සිය මතය ප්‍රකාශ කළේ දොස්තර මහතා ය.

“ මම හිතාගෙන ඉන්නේ ඔය තැන් තැන්වල තියෙන අනවශ්‍ය කුඹුරු වතු පිටි ටික විකුණලා දාලා ටවුම කිට්ටුවෙන් හොඳ ඉඩම් කෑල්ලක් අරගෙන ගෙයක් හදන්න කියලා. ඒ හින්දා හදිස්සි වෙලා කුණු කොල්ලෙට ඉඩම් විකුණන එක අපට පාඩුයි.”

ඊළඟට ප්‍රාදේශීය ලේකම්වරිය කතා කළා ය.

“කොහොමටත් අයිතිකාරයා වගා කරන කුඹුරුවල මිල වැඩියි. ගොඩ කරන්න අවසරය ලබා ගත්තාම කුඹුරු උණත් ලොකු ගණනකට විකුණන්න පුළුවනි. මට ලේසියෙන් ගොඩ කිරීමේ අවසරය අරන් දෙන්න පුළුවනි. දවසකට මම ගොඩ කිරීමේ අවසර පත්‍ර කීයක් අනුමත කරනවාද?”

අනතුරුව ඉංජිනේරුවා තවත් අදහසක් ඉදිරිපත් කළේ ය.

“ළඟදි ඔය වෙල් යාය හරහට ඉරිගේෂන් ඇළ මාර්ගයක් ඉදි කරන්න යෝජනා වෙලයි තියෙන්නේ.‍ එහෙම වුණොත් ඉදිරියේදී ඔය කුඹුරුවල වටිනාකම ගොඩක් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා දැන් ම ඔය කුඹුරු විකුණන්න හදිස්සි වෙන්න ඕනෑ නෑ.”‍

අන්තෝනිස් අයියගේ පැත්තට යමක් කීවේ පොඩි දුව පමණි.

“තාත්තා දැන් රත්නපාල අයියාට ඔය කුඹුර දෙන්න පොරොන්දු වෙලා තියෙනවා නම් ඒක වෙනස් කරන එක හොඳ නෑ. තාත්තාගේ වැඩ තාත්තාට ඕනෑ හැටියට කරගන්න දෙන එකයි හොඳ”

ඒ ඇසූ පොඩි නෝනා වහා ඈ වෙත කඩා පැන්නාය.

“පොඩ්ඩි උඹ කට පියාන හිටපන්. උඹ මේවට කට දාන්න ඕනෑ නෑ.”

පොඩි දුව කවදත් අන්තෝනිස් අයියාට ආදරේය. විශ්ව විද්‍යාලයේ කලා උපාධියක් හදාරණ ඇය ජීවිතය දෙස අපිස් ලෙස බලන්නියකි. සිය පියාගේ උදාර ජීවන පුරුෂාර්ථ කෙරෙහි ඇය තුළ ඇත්තේ මහත් භක්තියකි‍. ගෙදර සිටින අනෙක් අයගේ ඕළාරික ඇවතුම් පැවතුම් ඇය නුරුස්සයි.

“පොඩි පුතේ (දුවක වුව ද ඔහු ඇය අමතන්නේ පුතා කියාය) මම දැන් රත්නපාලට ඔය කුඹුර දෙන්න පොරොන්දු වෙලා ඉවරයි. අනෙක් අයගේ කොටසුත් දැන් රත්නපාලට ම දෙන්න පොරොන්දු වෙලයි තියෙන්නේ. ලබන බදාදා ඔප්පු ලියනවා ය කිව්වා. මං දැන් කොහොමද ඒ මිනිහාට මූණ දෙන්නේ?‍”

“තාත්තා ඕකට හිත කලබල කරගන්න එපා. මම පස්සේ අයියලා අක්කලා එක්ක ඔය ගැන කතා කරලා බලන්නම්කො. තාත්තා දැන් තේ එක බොන්න” එසේ පැවසූ පොඩි දුව ගෙතුළට ගියා ය. පොරොන්දු වූ පරිදි එදින සවස පොඩි දුව තාත්තාගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අම්මාගේ හිත වෙනස් කරන්නට උත්සාහ කළා ය.

“මොනව ද අම්මේ තාත්තාගේ හිත රිද්දන්නේ. ඔය ඉඩකඩම් අයිති තාත්තාට. ඒ හින්දා ඒවා ගැන එයාට ඕනෑ හැටියට තීරණයක් ගන්න ඉඩ දුන්නා නම් ඉවරයි නේ.”

“එහෙම කොහොමද? රත්නපාල දැනට මත් ඔය මනුස්සයා රවට්ටලයි ඇත්තේ. උඹලාගේ නැන්දලාගේ හැටි මං නොදන්නවා කියලාද? රත්නපාල ඒ ගොල්ලන්ට අත යට මුදල් දීල ඇති.

“රත්නපාල අයියා එහෙම කරන්නේ නෑ‍.”

“උඹ දන්න කෙහෙල් මල. උඹත් ඉතින් තාත්තාගේ ම දුවනේ.” කුඹුර විකිණීම සම්බන්ධයෙන් ගෙදර අයගෙන් තීරණයක් ලැබේ යැයි අන්තෝනිස් අයියා දින දෙකක් බලාපොරොත්තුවෙන් සිටි නමුත් ඔවුන්ගෙන් ඊට කිසි ම ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් නැවත වරක් අඟහරුවාදා රාත්‍රියේ ඔහු පොඩි දුව සමඟ ඒ ගැන කතා කෙළේ ය. ඉස්තෝප්පුවේ ඇ‍ඳෙහි නිදා ගන්නා ඔහුට හැමදාම රාත්‍රියට බීමට වතුර වීදුරුවක් ගෙනවුත් දෙන්නේ පොඩි දුවයි. එදින වතුර වීදුරුව මේසය මත තැබූ ඇය තාත්තාගේ ඇ‍ඳෙහි කෙළවරක වාඩි වී ඔහු දෙස සෙනෙහසින් යුතුව බැලුවා ය.

“පොඩ්ඩියෙ අර ඔප්පු ලියවිල්ල තියෙන්නේ හෙට. මොකද අයියලා අක්කලා ඒ ගැන කිව්වේ?

“ඒ අය නම් කිව්ව දෙයක් නෑ. ඒ ගොල්ලන්ට දැන් ඒක මතකත් නෑ. මම අම්මා එක්ක ‍‍‍‍ඔය ගැන කතා කළා. ඒත් අම්මව නම් වෙනස් කරන්න අමාරුයි. තාත්තා දැන් ඔය ගැන කල්පනා කරන්නේ නැතිව නිදා ගන්න. තාත්තාට ඕන්නම් පස්සෙ දවසක වුණත් ඕක රත්නපාල අයියාට ලියලා දෙන්න පුළුවන්නේ.”

“ඒක නම් එහෙම තමා. ඒත් මං නිකම් බොරු කාරයෙක් උණ එක ගැනයි මට කණගාටු.”

ඒ බදාදා දිනයයි. එනම් ඔප්පු ලිවීමට නියමිත දිනයයි. රත්නපාලට දීම සඳහා කිසිදු සාධාරණ පිළිතුරක් ඔහුගේ සිහියට එන්නේ නැත. තමා මහා බොරු කාරයෙක් වී ඇතුවා නොවේ ද? මුළු ජීවිත කාලය තුළ ම මෙවන් තත්ත්වයකට ඔහු කිසි දිනක මුහුණදී නැත.

එසේ සිතන විට ඔහුගේ ශරීරයෙන් මහත් දාහයක් පිට වන්නට විය. ඒ සමඟ ම ඔහුගේ පපුව දෙසින් මහත් වේදනාවක් ඇති වූයේ ය. මොහොතකින් දෙ ගුණ තෙ ගුණ වූ එම වේදනාව සමඟ ම පපුව දඬු අඬුවකින් හිර කරන්නා මෙන් ඔහුට දැනුණි. ඔහු වතුර ටිකක් බීමට සිතා අත ඔසවා මේසය මත වූ වතුර වීදුරුව ගන්නට උත්සාහ කළත් එය කළ හැකි නොවී ය. අනතුරුව ඔහු ‘පොඩ්ඩී’ යයි උස් හඬින් කතා කළත් ඔහුගේ මුවින් කිසිදු වචනයක් පිට වූයේ නැත. දහස් ගණනක් කළා මැදිරි එළි ඇස් ඉදිරියේ පාවී යන්නාක් මෙන් ඔහුට දැනිණ. ඔහු දෑස් තද කර පියා ගත්තේ ය.

උදේ පොඩි නෝනා දොර හැරගෙන එළියට අවුත් අන්තෝනිස් අයියාගේ ඇඳ දෙස බැලුවේ ඔහු කුඹුර වෙත ගොස් ඇද්දැයි දැන ගැනීමටයි. වෙනදා පාන්දර නැගිටින ඔහු දවල් වනතුරුත් ඇ‍ඳේ වැතිරී සිටිනු දුටු පොඩි නෝනා ඔහු අසලට පැමිණ කතා කළා ය.

“ඒයි... මේ ඇහුණ ද?”

එහෙත් අන්තෝනිස් අයියාගෙන් කිසි ම පිළිතුරක් නො ලැබුණි. ඔහුගේ නිශ්චල බව පොඩි නෝනාට සිතා ගත නොහැකි විය. ඇය ඔහුගේ ඇඟට අත තබා බැලුවා ය. එය සිසිල් දිය කඳක් මෙන් ශීතල වී තිබුණි. ඇයට මහත් බියක් දැනිණ. අන්තෝනිස් අයියාගේ සිරුරෙන් ප්‍රාණය නිරුද්ධ වී තිබුණි.

 https://archives1.silumina.lk/2019/11/02/%E0%B6%B4%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B6%BD%E0%B7%83/%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9D%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%BA%E0%B7%8F


Nissanka Rajapaksa

unread,
Dec 18, 2023, 4:37:27 PM12/18/23
to INDRAKA group
50
නාය....

- සී ජේ විදානේ (විදානෙගෙ දානේ වෙබ් අඩවියෙන්)

ඇය අතැති තේ කොප්පය දැං  සීතල වී බොහෝ වේලාය. එහෙත් ඇය එය හෙමින් හෙමින් තොල ගාමින් එපිටින් පෙනෙන ගොඩනැගිල්ලෙන් පහතට බසින තරප්පු පෙළ දිහා නෙත් යොමාගෙනය. ඇසි පිය ගසන්නට හැර ඇය එයින් නෙත් වෙනතක නොගත්තාය. ඇය කිසිවෙකුගේ පැමිණීමක් බලාපොරොත්තුවෙන් සිටිනා බව දකින ඕනෑම අයකුට වටහාගත හැක. ඇය සිටින්නේ ඇගේම කාර්යාලයේ ආපන ශාලාවේ කාර්යාල ගොඩනැගිල්ලේ තරප්පු පේලිය හොඳින් පෙනෙන මේසයකය. එම මේසය මත ඇය මිතුරෙකුගෙන් ඉල්ලා ගත් හෙල්මටයක් ද විය. කාලය විනාඩි තිහ හතලිහක් පමණ ගෙවෙද්දී ඇය සෙවූ රුව කාර්යාලීය උඩු මහලින් මහත් කලබලයෙන් පහලට බහින්නට විය.

ඔබ සිතුවා නිවැරදිය ඒ කලබලයෙන් පහලට බැස්සේ ඇයගේ පෙම්වතාය. ඇත්තම කිව්වොත් මීට සතියක් හමාරක් වෙනකං ඇයගේ පෙම්වතාය. හේතු කාරණා කිසිත් නොදන්වා ඇගෙන් වෙන්ව යන්නට සැරසෙන පෙම්වතාය. පසුගිය සතියක පමන කාලයේදී ඇයගෙන් කට්ටිපැන්න  පෙම්වතාට අද නම් ගැලවීමක් නොවුනි. ඔහු යතුරු පැදිය හරවා පනගන්වන්නට හදන විට හෙල්මටයකුත් හිස පැළඳි ඇය එහි පසුපසින් වාඩිවීය.  

"විකාර නැතිව බහින්න."

"බෑ.."

"මට වැඩ වගයක් තියනවා.."

"ඉවර වෙනකං මාත් ඉන්නං.."

"හරි හරි කොහෙටද යන්න ඕන.."

"ඕන තැනකට.."

ඇයත් සමග වාදයකට යාමේ  තේරුමක් නොමැති බව දැනගත් ඔහු යතුරු පැදිය පනගන්වා සෙමින් ඉදිරියට පදවන්නට විය. 

මෙම ආයතනට ඇය රැකියාවට පැමිණියේ මෙයට වසරකට පමණ පෙරදීය. ඉන් මාස දෙක තුනකට පමන පසු ආයතනයේම ඉහල නිළධාරියකු වූ දිනෙෂ් ඇගේ සිත් සොරකම් කරන්නට සමත් විය. ඔහුගේ ගම නාරම්මල කිට්ටුව ගමකි ඉඩකඩම් දේපල එතරම් නොමැති උවත් උන්න්දුවෙන් සහ උත්සාහයෙන් ඔහු මෙම තත්වයට පැමිණ ඇත. 

"සල්ලියබාගේ නැතිඋනත් ඔයාට ගැලපෙනව කියල හිතෙනව නම් අපි ටිකක් ඒ ළමයා ගැන හොයල බලමු..." ඇගේ පියාගේ මේ වඳන් ඇසුනු දින ඇය සතුටින් ඉපිල ගියාය.

දිනක්  කාර්යාලයේ මිතුරකුගේ පියකුගේ අවමගුලකට ඔවුනට හදිසියේම මාවනැල්ලට යන්නට සිදුවිය. ගමනට යොදාගත් වාහනය ප්‍රමාද වී පැමිනෙන බැවින් ඔවුනට හුරු යතුරු පැදියෙන්ම මාවනැල්ලට යන්නට පිටත්වුවා ඇයට අද වාගේ මතකය. ටික වේලාවක් මලගෙදර ගතකල ඔවුන් ඉක්මනින්ම නැවත පැමිණීයේ රාත්‍රී අට නවය වනවිටවත් නිවසට පැමිනෙන්නට සිතාගෙනය. එහෙත් එදින ස්වභාව ධර්මයා ඔවුනට හරස් විය ටික දුරක් පැමිණි පසු ඇද හැලුණු ධාරානීපාත වර්ෂාව විසින් ඔවුන්ව අතරමග නවාතැන්පලක නතරකරවුනු ලැබීය. රාත්‍රියෙහි බියර් කෑන් දෙකක් හිස් කල ඔවුන් දෙදෙනා වැස්ස වලාහක දෙවියන්ට පිං දෙමින් බොහෝ සතුටින් වෙහෙස මහන්සියෙන් රැය පහන් කලහ. පසුදින උදයෙහි ලේ පැහැ ගැන්වුනු ඇඳ ඇතිරිල්ල බෑගයට ඔබා ගනිමින් ඔවුන් මහත් සන්තාපයෙන් යුතුව නවාතැන් පොලෙන් නික්මිණ.

එම සිදුවීම සිදුවූයේ මෙයිට මාස හතරකට පමණ පෙරදීය. එදා බොහෝ කෙලිදෙලෙන් යුතුව යතුරු පැදිය පදින දිනේෂ් වෙනුවට අද සිටින්නේ වෙනමම මිනිසෙකි. ඒ වෙනස ඇති වූයේ මෙයට සතියකට හමාරකට පෙර සිටය. සති අන්ත නිවාඩුවකට ගෙදර ගොසින් පැමිණි දිනේෂ් හැසිරුනේ සිහි මඳ වූවෙකු ලෙසිනි, කිසිවෙකුටත් වැඩිපුර මුහුණ නොදුන් ඔහු, සෑම විටකම පාහේ ඇයව මගගැරියේය. දුරකථනයද කිසිවිටකත් වැඩකරන්නේ නැත. ඔහු දින කිහිපයක්ම රැකියාවටද නොපැමිණියේය. අන්තිමට ඇයට ආරන්චි වූයේ ඔහු වෙනත් රැකියාවක් සොයාගැනීමට උත්සාහ කරන බවයි. හදීසියෙන් ඇයව මුණ ගැසුණු විටදී ඔහු "මාව අමතක කරන්න - ප්ලීස්" යනුවෙන් පවසා ඉක්මනින් එතැනින් මාරුවිය.

මොහුගේ මේ වෙනස්වීමට හේතුව ඇයට නම් මහත් ප්‍රහේලිකාවකි. ඔවුන්ගේ නිවසින් ඇයට අකමැති වන්නට කිසිඳු හේතුවක් නැත. තවද ඇගේ නිවසින්ද ලොකු බලපෑමක් නැත. මොහු තමන්ව අනාතකර දමා යන්නට සදන සළෙලෙකුදැයි විටක ඇයට සිතුණි. එහෙත් පෙර සිදුවීමෙන් මාස හතරක් ගතවුනු තැන අද ද ඔහුගෙන් ඇයට බලපෑමක් නැත. ඇයට මෙය මහා ප්‍රහේලිකාවකි එයට උත්තර ඇත්තේ ඔහු ලඟම පමණි. 

"මෝඩයා මොකක් හරි සිම්පල් කේස් එකකට පිස්සු නටනවා ඇති. " ඇය ඇයටම කියා ගත්තාය.

"බහින්න.."

වෙනදා පැමිනෙන අවන්හල ම ය. කිසිවත් නොකියාම ඔවුන් දෙදෙනා ඔවුන්නට හුරුපුරුදු මේසය වෙත ගමන් කලේය. ඇය එක එලේලේම ඔහුගේ දෑස් දෙස බැලීය. ඔහුගේ දෑස් ඇගෙන් වහන් වන්නට අසීරු උත්සාහකය. 

"මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ..?"

"මට පිස්සු හැදිලා .. අනේ ප්ලීස් ප්ලීස් මාව අමතක කරන්න.."

"අමතක කරන්නං මෙච්චර දුර එන්න ඕනද? විකාර නැතුව මොකක්ද වෙලා තියෙන්නේ කියන්න..?"

ඇගේ පෙරැත්ත කිරීම්, තර්ජනය කිරීම්, හඬාවැලපීම්, හමුවේ අවසානයේ ඔහුට පරාජය වන්නට සිදුවිය. 

"මට සමාවෙන්න.."

"ඔය ආයෙත් මුලට එන්න හදනවා, දැං හොද ළමයා වගේ මොකක්ද උනේ කියන්න ?"

ඉඳ සිටි අසුනින් නැගිට ගත් දිනේෂ් අවන්හලෙහි ශීතකරණයවෙත ගොස් එහි ඇති සිසිල් වතුර බෝතලයක් ගෙන එක හුස්මට එය බීගෙන බීගෙන ගියේය. හිස් බෝතලය මේසය මතින් තැබූ ඔහු දෙඅත් මේසය මත තබා මඳක් ඇගේ මුහුණ දෙසට එබීණ.

"අර මහව තියෙන සුපර් සිටි එක කාගෙද?..,"

"අයියෝ මං දවසක් කිව්වේ ඒ බිල්ඩිම අපේ තාත්තගේ දැං සුපර් සිටි එකට කුලියට දීල තියනවා. දැං ඒකේ මාසේ කුලිය වැටෙන්නේ මගේ එකවුන්ට් එකටනේ "

"කුලියක් මං ඇහුවෙ නෑනේ ඔය මගුල දාන්න කලින් ඔතන මොකක්ද තිබුනේ?"

"අනේ ඇයි මේ විකාර කථා කියන්නේ .. හරි හරි.. මං මුල ඉඳන්ම කියන්නං කෝ අහගන්න, අපේ තාත්තලාගේ මහ ගෙවල් මහව ඒකාලේ තාත්තා ඔතැන  පොඩි බුක්ෂොප් එකක් දාගෙන ඉඳල තියනවා. අම්මව මැරිකලාට පස්සෙ මෙහෙට ඇවිත් පදිංචිවෙලා, පස්සේ ඔතන අලුතින් බිල්ඩින් එකක් හදලා සුපර් සිටි එකට දීලා තියෙනවා.. එච්චරයි"

යලිත් ටික වේලාවක දැඩි නිහඬතාවකි. ඇය බලාපොරොත්තු සහිතව ඔහුදෙස නෙත් යොමාගෙනය. ඔහු මුහණ පහතට හරවා දෑසින් වැටෙන කඳුලු පිහිදමිනි. 

"දන්නවද ? " නිහඩියාව බිඳිමින් ඔහුගේ බිඳුනු හඬය..

"මොකක්ද?"

"අපේ අම්මා කලින් වැඩකරලා තියෙන්නේ ඔය බුක්ෂොප් එකේ තමයි"

-------------------------------------------------------

Simon Tissera

unread,
Dec 18, 2023, 5:42:26 PM12/18/23
to ind...@googlegroups.com

Sent from my iPhone

On 19 Dec 2023, at 8:37 am, Nissanka Rajapaksa <nraja...@gmail.com> wrote:

Nissanka
Thanks for posting this. A great short story.



-------------------------------------------------------

--

---
You received this message because you are subscribed to a topic in the Google Groups "INDRAKA" group.
To unsubscribe from this topic, visit https://groups.google.com/d/topic/indraka/9a4TDM4B3PQ/unsubscribe.
To unsubscribe from this group and all its topics, send an email to indraka+u...@googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/indraka/CAFRcW-Lu4oabpD%3DfY9rrrE4%2BQBe3utbFNGGfMJpfvxt-skdyOw%40mail.gmail.com.

Arthur Arambepola

unread,
Dec 18, 2023, 7:48:43 PM12/18/23
to ind...@googlegroups.com
කථාව නම් රසවත් තමයි. නුමුත් එය රසවත් වන්නේ එහි ඇති අනපේක්ෂිත සිදුවීම නිසාම පමණි. එනම් නොකියා කියැවෙන හා නොදැනුවත්වම සිදුවන ව්‍යාභිචාරී (incest) සිදුවීම නිසාමය. නුමුත් චරිත හා පසුබිම විශ්වාස කළ හැකි මට්ටමින් ගොඩනගා නැති බව මගේ මතයයි.

කෙසේ වෙතත් කථාව කියැවීමට අවස්ථාව සලසාදීම ගැන නිශ්ශංකට පින්.

Nissanka Rajapaksa

unread,
Dec 19, 2023, 5:02:10 PM12/19/23
to INDRAKA group

Nissanka Rajapaksa

unread,
Dec 20, 2023, 6:50:28 PM12/20/23
to INDRAKA group
52

රස්සාව

- ඉවාන් පවුලූෂා වෙබ් අඩවියෙන් 


"ඔයාට පුළුවන් සුනීත ඔයාට උවමනාවක් නෑ.."

"අනේ බම්බුව තමයි "

"බම්බුව නෙවෙයි කොම්බුව , බලන්න ඔයාට මම මෙච්චර උදව් කරද්දීත් ඔයා විබාගේ දෙවනිසැරෙටත් පේල් වෙනවා කියන්නේ ඔයාට උවමනාවක් නෑ තමා  ඉහි ඉහි ඉහි"

"අනේ ඉතින් අඬන්න එපා ,සාවිත්‍රි ..මම පුළුවන් තරම් උත්සාහ කළානේ .."

"මම යනවා සුනීත .....මේ තියෙන්නේ මම අලුතෙන් හදපු කෙටි සටහන් ටික ඔයාටම කියලා, අනේ මන්දා මගේ මහන්සිය ගැනවත් ඔයා හිතන්නේ නැති හැටි." පොස්ට් කාඩ් ප්‍රමාණයට කපපු ,සටහන් ලියාපු කඩදාසි ගොන්නක් සුනීත අතින් තියපු සාවිත්‍රි සුනීතට පළමුවෙන් ඉදිරියට දිවයන්නට විය .

"සාවිත්‍රි ......."

සාවිත්‍රි ඈතට දිවයනු බලා සිටින සුනීතට ඇයගේ දෙපා හොඳින් දිස්වේ ...පිරුණු මහත දෙපා වලට ඔහු කැමතිය.

"බලපංකො නිකං ෆුට්බෝල් කාරයෙක්ගේ වගේ කකුල් ..."

ඔහුගේ මිතුරෙකු වරක් පැවසුවද... දිගු කෙස් කලඹත් , සිනාසෙන විට වල ගැසෙන සුදු කම්මුල් ගැනත් කිසිවෙකු කිසිවිටක කිසිත් වරදක් කියන්නේ නැති බව සුනීතට මතක් විය .

ඈතට දිවගොස් කඩුල්ලෙන් පැන නිවාස තුලට ඇදුනු සාවිත්‍රි දෙස මොහොතක් බලාසිටි සුනීතගේ ආපසු හැරුණු දෙපා නතරවුණේ පියා සේවය කරන සාප්පුව අසලය . මඳක් වටපිට බැලූ සුනීත සාප්පුව තුලට ඇතුල්වත්ම සුපුරුදු ලෙස අදත් ඇස ගැටුනේ ඇතුළු කාමරයේ දොරට උඩින් පේළියට තබා ඇති බුදු හිමියන් සහ තවත් විවිධ දෙවිවරු රැසකගේ පින්තූර පෙලයි .

පසුපස හැරුණු සුනීත නැවත බැලුවේ ඇතුල්වන දොරට උඩින් තබා තිබූ සීවලී පීන්ථූරය තවමත් එසේම තිබේද කියාය. ඒ සමගම අලුතින් එතන තබා ඇති කාසි පිරුණු තැටියක් මත අඩ නිරුවත් හිනැහෙන බඩතඩියෙකුගේ පිළිමයද ඇස ගැටුණි

*******


" ඇයි මොකෝ ...., උඹ අදත් කට්ටි පැන්න නේ ?" කනේ තියාගෙන අසමින් සිටි කුඩා පොකට් රේඩියෝව සද්දය අඩු කරමින් පසෙකින් තැබූ උපසේන සුනීත දෙස බැලීය

" නැහ්හැ ....."

" නැත්තේ මොකෝ ...? තව දොළහ වුනෙත් නෑනේ ?... දැන් අම්මා කෑම අරන් එන වෙලාව පුතෝ .... පලයන් ගෙදර ..."

" තාත්තේ මම අදත් බලන් ඉඳල යන්නං?"

"එපා ....උඹට මේවා කරන්න බෑ... උඹ ඕනෙමයි කිව්ව නිසයි මම එදත් හා කිව්වේ .... පුතේ උඹලා අම්ම කැමති නෑ උඹත් මේ රස්සාව තෝරගන්නවට .. අනික මතක තියාගනින් උඹල අම්ම වගේ ගෑනු මේ ලෝකේ තවත් නෑ . "

සුනීතට සැනෙකින් සාවිත්‍රි මතකයට නැගිණි .

"ඔයා හොඳට පාඩම් කරන්න මේ සැරේ නම් ඔය පාස් වෙනවමයි , එතකොට අපි දෙන්නටම උසස්පෙළ කරන්න පුළුවන්,"
 දෙවැනි වතාවටත් විභාගය කරන්න සුනීත අකමැත්තෙන් උන්නත් හිත හදාගත්තේ මව්පියන්ගේ කීම කෙසේ වෙතත් සාවිත්‍රිගේ පෙරැත්ත කිරීම් නිසාවෙනි .


"අනේ තාත්තේ .."


*******


'කෝ පුතා ...." වැඩට ගිය පයින්ම ආපසු නිවසට පැමිණෙමින් සිටින උපසේන දෙස බැලූ බිරිය බැලුවේ පුදුමය මුසු හැගීමකිනි.

"ඔය තාම නිදියගෙන ඉන්නේ ... ඉස්කෝලේ යන්නෙත් නෑ...  ඔය..."

"ඉක්මනට එන්න කියාපන්"

"අර මොකටද ?"

"බේකරියේ මුදලාලි නැතිවෙලාලු ... අපේ මුදලාලි පණිවිඩේ එව්වේ ... අපිට වැඩේ බාර දීලා ..අද විජයා නෑ ..."

"දැන් ඔහේ හදන්නේ කොල්ලවත් ඔය රස්සාවට පංගාර්තු කොරන්නයි ..."

"ඔන්න ඔහේ ඌත් කැමති එකේ ,ඉගෙන ගත්තාවේ පුතාලයි අම්මේ ..."

මේ කතාබහ අවසන් වන්නටත් පළමුවෙන් කොට කලිසමක් හැඳ කමිසයේ බොත්තම් පියවමින් පියා ඉදිරියට පැමිණි සුනීත "යමු තාත්තේ" කියා පවසමින් ඉස්සර වුනේ තම මව දෙස හොරැහින් බලමිනි ...

කට හැරගෙන මද වෙලාවක බලා හුන් සුමනාවතී දිගු සුසුමක් හෙලා ආපසු නිවාස දෙසට හැරෙමින් ඇස් අග තිබූ කඳුළු බිංදු පිටි අල්ලෙන් පිස දැමුවාය. ඒ දුටු සුනීතට මතක් වුනේ පෙරදා රාත්‍රිය කෑම කන වෙලාවේ ඇති වූ සංවාදයයි .


********


" අනේ අම්මේ ..."

" පුතේ එක පාරක් විබාගේ පේල් උනාය කියලා ඉගනගන්න එපා කියලා නීතියක් ඉස්කෝලේ දාලා නෑනේ ... අනික අපි වියදං කොරනවානම් උඹට මොකෝ.. උඹ ඕකට යන්න දැඟලුවට ඔය රස්සාව මිනිස්සු කැමති රස්සාවක් නෙවෙයි පුතේ "

"අනේ මට බෑ අම්මේ ආපහු විබාගේ ගන්න .. පන්තියේ ඉන්නේ ඔක්කොම මට බාල එවුං ... මට බෑ බෑ බෑ කිව්වොත් බෑ ...." වතුර කෝප්පය නැවත වරක් මුව තුලට හරවා උඩ බලා ගනිමින් අන්තිම බින්දුවත් උගුරට හලාගෙන හුන් තැනින් නැගිටිමින් සුනීත කී දේ අසාසිටි උපසේන කටහඬ අවදි කලේය.

" ඔය රස්සාව කොරා කියලා වරදක් වෙන්නේ නෑ පුතාලයි අම්මේ . ඉස්සරහට ඕවට මිනිස්සු නෑ .. හොඳට හම්බ කරන්න ඇහැකි රස්සාවක් ...

" අනේ මගේ කට......... දැන් මේ ඔහේ හම්බ කරන්නේ හතර මහා නිධානෙ පහලවෙලා වගේ ". මේ කතාබහට උනන්දුවක් නොපෙන්වා ඒත් ඉතාම උවමනාවෙන් සවන් දුන් ඒ අවස්ථාවේදී මෙන්ම දැනුත් සුනීතට සිහි වූයේ බඩතඩි අඩනිරුවත් වානරයා තබා තිබූ පීරිසියේ තිබූ කාසි ගොඩයි.

"පුංචි කාලේ මගේ කැටෙවත් ඔච්චර කාසි තිබ්බේ නෑ " සුනීතට සිතුනි .



*******


"මෙතනින් කපලා බල නහරේ මතුකර ගන්න ඕනේ "

"දැන් ඔය සිලින්ඩරේට මේ බටේ ගහපන් , මේ තියෙන්නේ මෙන්න මේ බෝතලේට ලේටික ඔක්කොම එකතුකරගනින් .... බෝතලේට යටින් ඔය තැටිය තියාපන්. සමහරුන්ගේ ඇඟේ ඔය ලේ වැඩිපුර යනවා .. පොමලින් එක ගහන්න කලින් ලේ ටික ඔක්කොම අයින් කරන්න ඕනේ .."

"බලපන් උඹට පේනවද මේ ලේ ටික අයින් වෙනකොට මිනිය පිම්බුණු ගතිය නැතිවෙනවා , දැන් මුදලාලිද කියල අඳුන ගන්නත් බැරි ගානයි . මොන කෙරුමාත් අන්තිමට ඔතනින් තමයි බං නවතින්නේ ... එතකන් තමා ඔක්කොම සෙල්ලං."

තාත්තා කතා කරන ආකාරයෙන්, මිනිසුන් මැරෙනවාට තාත්තා කැමතිද මන්දා කියා සුනීතට සිතෙන්නට විය . ඇත්තෙන්ම තාත්තා කරන නිසා ආසාවෙන් සිටියාට මේ මොන අප්පිරියා රස්සාවක්දයි යන සිතුවිල්ල නිමේෂයකින් සුනීතගේ සිතට ඇතුළුවී පිටවී ගියේය .

 "ආ ඔතනින් තියාපන්... දැන් මම මේ සිරින්ජරේ තියෙන පොමලින් ගහනකන් උඹ ඔය පොම්පේ නවත්තන්නේ නැතුව දිගටම ගහපං ..."

"නවත්තන්න එපා බොල පොමලින් ටික පස්සට අදිනවා . මේ සිරින්ජරෙන් තුනක් ගහනකන් උඹ ඔය පොම්පේ නවත්තන්න එපා ... දවස් හයක් තියාගන්න නම් මේ සිරින්ජරෙන් තුනක් වදින්නම ඕන පුතේ .."

ඇත්තටම ඔතැනි මනුස්සයා කියා මිනිසුන් හඳුන්වන තාත්තා මෙතනදී කොතරම උද්‍යෝගිමත් ද කියා දුටු සුනීතට සැබවින්ම පුදුම සිතුනි .

"මොන ලෝකෙද මනුස්සයෝ ඉන්නේ ..." තාත්තාගේ ගෝරනාඩුවෙන් සුනීත නැවතත් පියවිලොවට පැමිණියා නොව ඇදගෙන වැටුණි ...

"උඹ ඉස්සෙල්ලා තීරණය කොරහන් මේක කරනවද නැද්ද කියලා ,මෙතනට වෙලා උඩ බලන් ඉන්නේ නැතුව .."
ඉන් පසු ක්ෂණයකින් නැවත පෙර රිද්මයට පැමිණි තාත්තා

"දැන් හොඳට බලාගනින් මේ  බඩ බොකු ටික අයින් කරන්න ඕන විදිහ .."

"මතක තියාගනින පුතේ ,වැඩේ ඉවර වුනාම මේ ආවුද ඔක්කොම සුද්දකරලා මේ පෙට්ටියට දාලා වහන්න ඕන.."

සාමන්‍යයෙන් අඩුවෙන් කතා කරන තාත්තා අද වැඩිපුරත් දොඩමලු වීම සුනීතට නුහුරුය.. මළමිනියක් සමග තනිවී මේ කරනා ගනුදෙනුවේදී තාත්තා ගේ හිත තරමක් හෝ  චංචල වී නොමැති වීම සුනීතව පුදුම කරවීය ,

නුහුරු මූසල කමකුත් , අප්පිරියාව මුසු ආගන්තුක හැගීමක් මෙන්ම පෝමලින් සැර නිසා කඳුළු පිරුණු දෙනෙතට , බරවුණු හිසටත් මේ ක්‍රියාවේ නුහුරු ,දුෂ්කර ගතිය දැනෙන්නාක් මෙනි ..


******

"සුනීත ..සුනීත අ අ"

සුනීත වට පිට බැලුවේ සාවිත්‍රිගේ කටහඬ ආවේ කොහෙන්දැයි කියා සොයන්න්ටයි ... පාරෙන් එහා පැත්තේ " මදාරා බියුටි සැලෝන්" හි දොරකඩ සිටගෙන තමන්ට අත වනනා සාවිත්‍රි දුටු සුනීතට මුලින්ම හිතට සතුටක් මොදුවුවත් ,ඊළඟ නිමේෂයේදී හිතට චකිතයක් ඇතුළු විය .

" මෙකි දැක්කද දන්නේ නෑ මම මෙතනින් එලියට එනවා "

සැනෙකින් පාරෙන් අනෙක් පසට පැන්න සුනීත සාවිත්‍රි අසලට දිවගියත් සාවිත්‍රිට ලංනොවී තරමක් ඈතින් සිටගත්තේ පොමලින් ගඳ දැනෙනවද දන්නේ නෑ යයි සිතමිනි.

"මොකද අනේ මේ ඈතට වෙලා ,මොකක්ද ඔය සුවඳ අප්පා ..ඔයා සෙන්ට් බාල්දියකට වැටුනද? අම්මේ නහය කඩාගෙන යනවා..මොකද අනේ මේ .."

සාවිත්‍රිගේ ප්‍රශ්න වලට උත්තර මතක් කරන විට

තාත්තාට හොරෙන් හංගාගෙන පැමිණි සෙන්ට් කුප්පියෙන් බාගයක් පමණ කඩේ දොරකඩ ඉඳන් ඇඟේ හලාගත් අයුරු මතක් වී සුනීතාගේ මුවට මද සිනාවක් නැගුණි..

"ගෙදරද යන්නේ...යමු මාත් එන්නම්... ඔයා මගෙත් එක්ක තරහ වෙලාද හිටියේ සුනීත.. මම ඉතින් ඔයාගේ හොඳටනේ කිව්වේ ... මමත් මෙතන බියුටි සැලෝන් එකේ වැඩට ආවා ,කියන්න ඔයාව කොච්චර නම් හෙව්වද ? අයි සුනීත නිකංවත් ආවේ නැත්තේ ....?"
"මම තාම ට්‍රේනිං. රිසාල්ට්ස් එනකං ගෙදරට වෙලා ඉන්නත් බෑනේ නිකම්ම.. හැබැයි මෙතනට එන සෙනග දැක්කම මට හිතෙනවා .විබාග කර කර දුක් විඳින්නේ නැතුව මේක හොඳට ඉගෙන ගන්න ..... මාර සල්ලියක් අනේ දවසකට ..."

"මොකද අනේ හැම එකටම බකමූණා වගේ හ්ම් හ්ම් ගාන්නේ කතා කරන්නේ නැතුව ." මෙතරම් වෙලා ගිරවියක් සේ ඇය කී දේට හූමිටි තබනවා විනා කිසිත් නොකී බව ඔහුට මතක් වුනේ එවිටය... කෙසේ වෙතත් මින්පසු සාප්පුවට යන්නේ නම් වැඩිපුර පරිස්සම් වීමට සිදුවන බව සුනීතට වැටහුණි.

පාරෙන් එහාපැත්තෙ කඩ හතාටකට එහායින් වූ " මදාරා බියුටි සැලෝන් " හි පුහුණුවන සේවිකාවක් ලෙස සාවිත්‍රි පැමිණීම නිසා සුනීතගේ සිත නැවතත් ව්‍යාකූල විය.


*******


"ඊළඟ එම්බාම් එක උඹ තනියෙන් කරන්න ඕන.... දැන් උඹට ආයේ ඉගෙන ගන්න දෙයක් නෑ... මුදලාලිත් කැමතියි උඹ දැන් තනියෙන වැඩක් කරනවට.."

කීප වරක්ම තනියෙන් බෙහෙත් ගැලවීම කරන්නට ඉල්ලා සිටියත් පියාගේ පිළිතුර වූයේ ,
"පුතේ මම මුදලාලි ළඟ අවුරුදු තුනක් වැඩකෙරුවට පස්සේ තමයි තනියෙන් එම්බාම් එකක් කරන්න ලැබුනේ , කලබල වෙලා මේ ගමන යන්න බෑ පුතේ . අනික් මේ හැම එකම එකම කරමෙකට කොරන්ටත් බෑ  "
සුනීත නැවතත් පියවි ලොවට ආදගෙන ආවේ පියාගේ කටහඬයි

"හැබැයි පුතෝ කවදාවත් ගුණමකුවෙක් වෙන්න නම් එපා .මේක තනියෙන් කරන්න පුළුවන් කෙලියක් නෙවෙයි. අපේ මුදලාලි හැමදාම අපිට සලකනවා..."

ටික වෙලාවකට පස්සේ අනික් කිසිම දෙයක් මතකයේ නොරැඳුනත් ....

 "ඊළඟ එම්බාම් එක උඹ තනියෙන් කරන්න ඕන .."
 "ඊළඟ එම්බාම් එක උඹ තනියෙන් කරන්න ඕන .."
 "ඊළඟ එම්බාම් එක උඹ තනියෙන් කරන්න ඕන .."

ඒ කියමන නම් සුනීතගේ හිත ඇතුලේ දෝංකාර දුන්නේ අමුතුම හැගීමක් එක්කමයි ...ඒ හැගීම දුකක්ද එහෙමත් නැත්තම සතුටක්ද?.. එදා රාත්‍රිය පුරාවට නින්ද සුනීත අහලකවත් නොවීය . ඇස් පියවෙන විටම තනියෙන්ම මිනියක් එම්බාම් කරනු මැවී පෙනෙන්නට වීම නිසා කිහිප වරක්ම සුනීත චංචල වූ සිතින් අවදි විය . ජීවිතයේ ඉසිසේල්ලම රස්සාවේ වගකීමක් බාරගන්න කාලේ ඇවිත්.

ඒත් මං ඒකට මිනිහෙක් මැරෙනකන් බලන් ඉන්න ඕනෙද? එතකොට වැඩියෙන් මිනිස්සු මැරේවා කියලද මම පතන්න ඕන .. නොයෙක් සිතුවිලි වලින් ආකූල ව්‍යාකූල වූ සුනීතගේ අසලටවත් එදා නින්ද නම් ආවේ නැත.


*******


සුනීත පාරට ආවේ ටවුන් එක පැත්තට ගිහින් එන්න .....

"ඊළඟ එක උඹ තනියෙන් කරන්න ඕන " කියලා තාත්තා කියලා දැන් දවස් දෙක තුනක් වුනත් ,තාම වැඩක් නම් ආවේ නෑ... එක අතකට මම කාලකන්නි මිනිහෙක්ද ? මගේ කුළුඳුල් රස්සාවේ තනියෙන් කරන පලවෙනි වැඩේ කරන්න තාමත් අවස්තාවක් නෑ. ඒක එන්නත් මිනිහෙක් මැරෙනකම් බලං ඉන්න වෙනවා ..ඇත්තටම මේ මොන පවක්ද .... සුනීත ගේ හිත හැම තැනම දුවන්න පටන් ගත්තා...

"සුනීත ... ! ! !"

"අහ සාවිත්‍රි ....ලඟට එනකම්ම දැක්කේ නෑ..."

"ඔව් .. ඒක ඇත්ත ..ඔයා කවදාවත් මං ලඟට ආවා කියලා දැක්කේ නෑ ... එකනේ ඔය ..."

"සාවී ..මොකද මේ ..."

"ඔයාට මම කිව්වා ඔය රස්සාවට යන්න එපා කියලා ..ඔයා මට සලකපු හැටි තමයි මේ නේද සුනීත...
කවදා හරි කටක් ඇරලා ගෙදරට කියන්න පුළුවන් රස්සාවකටද ඔය ගියේ මටත් කොලේ වහලා ...

" කවුද ඔයාට ඔය බොරුව කිව්වේ සාවිත්‍රි ....?

"මං අස්දෙක්න්ම දැකපු දේ බොරුවක් කියන්නද සුනීත ඔයා හදන්නේ , ඔයා අර සෙන්ට් නාලා ආපු දවසෙම තමා මට සැක හිතුනේ . මම ඊට පස්සේ ඔතනට මිනියක් ගෙනාපු හැම වෙලාවකම ඇහැ ගහගෙන හිටියේ . මට විජේ මාමාත් හම්බවුනා බස් එකේදී, එයා ටවුමේ අලුත් තැනට ගියාට පස්සේ එතන වැඩකරන්නේ ඔයා කියල එයා කිව්වා. "

කියාගන්න දෙයක් නැතුව සුනීතගේ මුව ගොලුවුනා , "සාවිත්‍රි"

"ඔයා උවමනාවෙන්ම විබාගේ පේල් වුනෙත් ඔය නිසා තමයි ...
තාත්තලා පුතාලා ඕන කුදයක් ගහගන්න ..
ආයේ මම ඔයා හම්බවෙන්න එන්නේ නෑ සුනීත ....."

මූණ පුරා කඳුළු වැල් බේරී බේරී අඬන සාවිත්‍රිගේ කටින් පිටවෙන වචන දිහා ඔහේ බලාගෙන හිටියා මිසක් සුනීතට කියන්න දෙයක් හිතාගන්න බැරි වුනා..

"සාවිත්‍රි ....."

එත් ඒ සද්දේ අහන්න සාවිත්‍රි ළඟ හිටියේ නෑ ... ඈත කඳුළු පිහදදා යන සාවිත්‍රි දිහා බලාගෙන හිටපු සුනීත ,යන්න ගිය ගමන පැත්තක තියලා ආපහු හැරුනා ...

දිග සුසුමක් හෙලපු සුනීතට හිතුනේ ආපහු කවදාවත් සාවිත්‍රි එක්ක කතා කරන්නවත් බැරිවෙයිද කියලා ,

එත් එක්කම සුනීතට මතක් වුනේ මේ රස්සාව ඉගෙන ගන්න ඕන කියපු හැම වෙලේම තාත්තා කියපු කතාව
"මතක තියාගනින් උඹලෑ අම්ම වගේ ගෑනු මේ ලෝකේ තවත් නෑ.........!!! "


*******

"මොකෝ පුතේ ගිය පයින්ම ආපහු?" ,අම්ම දිහා එකවතාවක් විතරක් බලපු සුනීත ,කමිසයේ බොත්තම් ගලවමින් ගේ ඇතුලට ගියේ කිසිම කතාවක් බහක් නැතුව ,
ගෙදර ඇතුලට ගිහිං දොර වහන්නත් කලින් ...

" සුමනාවතී නැන්දේ ...සුමනාවතී නැන්දේ ..."

ඒ සුනිල්ගේ සද්දේ ...

"මොකෝ ළමයෝ ...."
අම්මා එලියට එනකොටම අම්මගේ පස්සෙන් සුනීතත් ගලවපු කමිසේ උරිස්සට දාගන්න ගමන් එලියට ආවේ සුනිල් නිතර තමුන්ගේ ගෙදර එන කෙනෙක් නොවුණු නිසාත් , මුදලාලිගේ ගණන් හිලව් වැඩ බලන සුනිල් එන්න ඇත්තේ තාත්තගේ පණිවිඩයක් අරන් වෙන්න ඇති කියන සිතුවිල්ලත් එක්කම .

"අනේ නැන්දේ මාමා ...

"ඇයි මාමට මොකෝ ..?"ඇස් දෙකේ ලොකු කුහුලක් රඳවාගත් අම්ම දෙසත් ,කඳුළු පුරවාගත් සුනිල් දෙසත් මාරුවෙන් මාරුවට බලූ සුනීත ඉහල බැලුවේ හිසට උඩින් කෑගසමින් පියාඹාගිය කණකොකා දෙස අමනාපයෙන් මෙනි .

" කියහන් ළමයෝ "
අම්මා සුනිල්ගේ උරිස් දෙකෙන් අල්ල හොල්ලද්දී සුනිල් අල්වාගෙන සිටි බයිසිකලය අතහැරී බිමට පතිත විය.

"මාමා  ටවුමේ පාර පනිනකොට පොලිස් ජීප් එකට හැප්පිලා ...අපේ මුදලාලි එවෙලේම ඉස්පිරිතාලේ ගෙනියලා................... "

"යමන් ළමයෝ එහෙනම් ඉක්මනට" කියමින් ගෙදර දෙසට දිවගිය අම්මා දෙස සුනීත නොසෙල්වී ඔලුව පමණක් හරවා බැලුවේ යමක් වටහා ගත්තාක් මෙනි ... කඳුළු පිරුණු නෙත් දෙකින් සුනීතට අම්මාව පැහැදිලිව පෙනුනේ නැත.

"ඒත් නැන්දේ ............" යයි සුනිල් පවසද්දී ....ආපසු දිව ආ සුමනාවතී

"අනේ  දෙයියනේ.....පුතේ..ඒ.ඒ.ඒ.ඒ." කියමින් සුනීතගේ ඇඟේ එල්ලුනත් අතපය වාරු නැතිවූ කලකමෙන් සුනීතගේ පපුපෙදෙස සූරමින් පහලට රූටාගොස් දන බිමඇනගෙන හඬන්නට විය .

අත් දෙකින්ම කන්දෙක තදින් වසාගත් සුනීත ඉහල බැලුවේ කන්දෙකට ඇසෙන යමක් වලක්වාලන්නට මෙනි   ...

ඊළඟ එම්බාම් එක උඹ තනියෙන් කරන්න ඕන ......
ඊළඟ එම්බාම් එක උඹ තනියෙන් කරන්න ඕන ......
ඊළඟ එම්බාම් එක උඹ තනියෙන් කරන්න ඕන ......


Nissanka Rajapaksa

unread,
Dec 21, 2023, 8:01:00 PM12/21/23
to INDRAKA group
53
ජීවිතයට ලයිට් ගිහින්...

- මංජුල සේනාරත්න 

රාත්‍රී අටේ   සිට දහය දක්වා  දක්වා විදුලිය ඇන හිටීමක් සිදුවන බව නිවේදනය කෙරුණි. දවසේ වැඩ ටික අමාරුවෙන් නිම කර, නිවසට විත්, සූදානම් කර ගත් ආහාර වේල  අඹු දරුවන් සමග මුවට ඇතුළු කර ගන්නට, බහුතර අසරණ ජනයා  සූදානම් වන වෙලාවටම  බලධාරින් ලයිට් කපන්නට තීරණය කළේ  ඇයිදැයි මම මගෙන්ම ප්‍රශ්න කර ගතිමි. මම මේ රටේ තවත් එක් සාමාන්‍ය ගැහැනියක් පමණි. මගේ මේ සාධාරණ පැනයට පිළිතුරු දීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවන බව දැන  සිටි නිසාම, කාර්යාලයෙන් පැටවී, විෂ කැවූ ඊතලයකින් බේරෙන්නට වෙට්ටු දමමින් දුවන මුවැත්තියක් මෙන් හතිහලා ගෙන මොන්ටිසෝරියෙන්   උගුල්ලා ගත් පුංචි පුතා සමග නිවෙස් වැදුණු මම, පොළොවට පාත්වන අඳුරු සමග මැරතනයක් දුවමින් රාත්‍රී  ආහාරය සූදානම් කළෙමි. කෑම මේසයේ මහා දෙයක් නැත.   නිහාල් කෝප නොගනු ඇතැයි යන්න මගේ අනුමානයයි. 

බොරැල්ලේ සිට කොට්ටාව බලා දුවන 174 බසයෙන්, පන්නිපිටිය හන්දියේදී බැස  ගන්නා මිනිසෙක් කාක බෝධිය ඉදිරියේ ඇති බාර් එකට ගොඩ වන්නේ හැකි ඉක්මනින් වීදුරු  කීපයක් මුවට හලා ගෙන පිටවීමේ අදහසිනි. එහෙත් ඇතුළු වන විට ඔහු සතුව තිබුණු හදිස්සිය "විශේෂ මැන්දිස්" විසින් පැය දෙකක කාලයක් දක්වා දිගු කිරීම නිසා  පිටවීමේ දොරටුව සොයා ගැනීමට ඔහුට අපහසු විය. අවසානයේදී දොරටුව සොයාගෙන පියගැට පෙළ බසින්නට  උත්සාහ කරන අතරේදී, තම සිරුරේ සමබරතාවයද  "මැන්දිස්" ගේ පාලනයට නතු වී   ඇති බව ඔහු වටහා ගනියි. ත්‍රිරෝද රථයකට රුපියල් 400 ක් වියදම් කරන මිනිසා, රුක්මල්ගමට පැමිණ නිවස අසළින් බැස  ගනිද්දී වෙල් යාය ඉහළින් හමා  එන සුළඟ, ඔහුගේ සුරා ගඳින් ටිකක් සොරාගෙන, දහදිය ගද සමග පෙරා  මගේ නාසය මත තවරා යන්නට යයි . මම හැරී බලමි. අමාරුවෙන් ත්‍රිරෝද රථයෙන් බසින සැමියා දෙපයින් සිටගෙන , හතරගාතයෙන් මෙන් ඇවිදිමින් නර අවතාරයක් මෙන් නිවසට ඇවිද එයි.  ලයිට් කපන්නට විනාඩි කීපයක් තිබේ. සැමියාගේ කෝප මුහුණ දකින මගේ ලොවේ විදුලිය විසන්ධි වන බව දැනේ. හදවත නමැති ජෙනරේටරයට, ණය වී මිලට ගත් , සෙනෙහසේ ඉන්ධන බින්දු කීපයක් දමා ,  කාරුණික සිනහවක් මුවට නංවා ගතිමි. එහෙත් සැමියාගේ වෙරි බලය අඩු කර දමන්නට ඒ සිනහවේ Voltage  බලය ප්‍රමාණවත් නොවිණ .
"තමුසේ හම්බ කරන දේවල් පොදි ගහන්නේ රෑට හරහමන් දෙයක් කන්න හදන්න බැරිද ඕයි ..." ඔහු ඇසුවේය.
"තෙල් නැති හින්දා බස් දුවන්නේ නැහැ නිහාල්. පුතා එක්ක පයින් ආවේ.. අනෙක දර ලිපේ උයන්න අමාරුයි අනේ.. සොරි .." විදුළි බලයකින් සිරුර හිරි වට්ටවා ගන්නට හැකි නම්  මම එසේ කරමි . අද රාත්‍රියේ යම් මොහොතක ඔහුගේ අතරේ අකුණු සැර මගේ මුහුණ මත පතිත වීම වළක්වා ගත නොහැකි වුවද, සිරුර හිරි වට්ටවා ගැනීමෙන් වේදනාව දරා ගත හැකිය.

ඔහු මුළින්ම කළේ බෙදා කටක් මුවට දාගෙන , එය යන්තමින් රස බලා, උගුරින් පහළට නොයවා , මුවින් පිටත විසි කිරීමයි. මේ මළ ජරාව කන්නේ කොහොමද යකෝ... කියමින් බත් පිගාන අතට ගත් මගේ සැමියා එය මා දෙසට දමා ගැසුවේය. වෙරි මත නිසා ඔහුගේ ඉලක්කය සාර්ථක වූයේ නැත. එහෙත් අමාරුවෙන් නැගී සිට මා වෙත පැමිණෙන ඔහුගේ සුරත ට ඉලක්කය නොවරදින බව මම දැන සිටියෙමි. දෙපයට හැකි විරිය ගෙන  දිව ගොස් , නිවසින් , ගමෙන් , රටින් පිටවී දෛවයෙන් බේරෙන්නට නොහැකිය. පතාගෙන ආ හැටියට නිහාල් ගේ සුරත මගේ හිසේ වදින්නට පෙර නොසිතූ එක දෙයක් සිදුවිය. 
එනම් විදුලිය විසන්දි විය. 

මුළු නිවසම අන්ධකාරයේ  ගැලී ගිය නිසා මා සිටින දිශාව සොයා ගැනීමට ඔහුට අසීරු  වුවත් සුරත ඔසවා ගෙන මා දෙසට ඇවිද ආ වේගය පාලනය කර ගන්නට නොහැකි වීම නිසා බිම ඇද වැටෙන මගේ සැමියාගේ සිරුරින්  "තග් " යන හඬ නැගෙනු මට ඇසුණි . ඉන්  පසුව පැතිර ගියේ දරා ගත නොහැකි නිහැඩියාවකි. ඇසුණේ ඈත , දුර , මෑත බුරන බල්ලන්ගේ ගෝෂාව පමණි .

"නිහාල් ... නිහාල් ...!" ඔහුගේ සිරුර සොළවමින් මම කෑගැසුවෙමි. හිස සිමෙන්ති පඩියේ වැදෙන්නට ඇත. රුධිර වහනයක් වී නැති බව ස්පර්ශයෙන් තේරුම් ගත්තද , නාඩි වැටීමේ වේගයේ වෙනසක් නො වැටහුනද, නාස් පුඩු වලින් උණුසුම් ප්‍රශ්වාස වාතය පිටවුණද මගේ සැමියා සිහිසුන්ව සිටියි. ඔහු බිම ඇද  වැටුණේ මට එල්ල කළ පහර වැරදී , සිරුරේ සමබරතාවය අහිමි වීමෙන් බව මම දනිමි. ඔහුගේ අභිප්‍රාය වූයේ මට පහර දී මෙල්ල කර ගැනීමයි. තමන්ගේ ආධිපත්‍යය තහවුරු  කර ගැනීමයි. සිරුරින් දුර්වල තැනැත්තියකට තමන්ගේ ශක්තිය පෙන්වීමයි. තොට හොද වැඩේ යැයි සිතා නිහඩ වන්නට හැකි වුවද ඔහු මගේ එකම ආරක්ෂකයාය. 
ඔහු මිය ගියාද...?

අත පත ගා ඉටිපන්දමක් දල්වා ගත් මම මුළින්ම කළේ නිහාල් ගේ මුහුණට එබී බැලීමයි. විනාඩි කීපයකට පෙර ඒ මුහුණේ පැවති  බේබදු කෝපය සිහිසුන්වුවද තවමත් පහව ගොස් නැත. ඒ නරුම පෙනුම මරණයෙන් පසු එලොවටත් රැගෙන යන්නට ඔහු සූදානමින් සිටියාක් වැනිය. "නිහාල් .." පිළිතුරක් හෝ , ප්‍රතික්‍රියාවක් දකින්නට නොමැති තැන කුඩා කාමරයට ගොස් නිදි යහනේ වාඩිගෙන බියට පත් මුහුණින් අඳුරට ඉකි ගසන හය හැවිරිදි පුතු වැළඳ ගත්තෙමි.
"අම්මී ..තාත්තී වැටුණ නේද..?"
"ඔව් පුතේ ..ආයේ නැගිටියි...ඔයා බය වෙන්න එපා හොඳේ..නිදා ගන්නකො..." යම් හෙයකින් නිහාල් මිය ගොස් ඇත්තම් කළ යුත්තේ කුමක්දැයි නොදැන මම මහා දොරින් පිටවී නිවසේ ඉස්තෝප්පුවට පැමිණියෙමි. ගල් බැම්මේ වාඩිගෙන වටපිට බලද්දී යම් දෙයක් වටහා ගන්නට මට හැකිවිය. එනම් පෙර දැනුම් දුන් ආකාරයට විදුලිය විසන්දි කිරීමක් සිදුව නැති බවයි. ලයිට් ගොස් ඇත්තේ අපේ නිවසේ පමණි. අනෙක් සෑම නිවසකම ලයිට් තිබේ. එසේ නම් මේ දීපය පාලනය කරන ලයිට් කැපීම සහ ලයිට් යළි එවීම පිළිබඳ නිසි බලධාරී තැන ඉතා වටිනා දෙයක් වටහා ගෙන ඇතුවාක් මෙනි. එනම් මේ නිවසේ වසන ගැහැනියගේ ජීවිතය නොවැදගත්  එකකි. ලයිට් තිබුණා හෝ නැතුවා , ඇගේ ජීවිතය සදාකාලීන අඳුරේ පවතින්නට මෙලොවට බිහිවුණු එකකි. එහෙයින් තව දුරටත් මේ නිවසට විදුලියෙන් පලක් නොවේ. 
එසේ සිතන නිසි බලධාරියා  අපේ නිවසේ පමණක් ලයිට් කපා තබා මුළු මහත් අවට  ලෝකයම  ආලෝකමත් කර තිබේ .

එහෙත් ගැහැනුන් යනු අඳුරු ජීවිත උරුම කරගෙන මෙලොවට බිහිවුණු සත්ව කොටසක් නොවේ. සත්‍යයකි. සිමොන් දු බෝවා වරෙක කීවා මෙන් ගැහැනිය උපදින්නේ ගැහැනියක වශයෙන් නොවේ. ඇයව ගැහැනියක බවට පත්  කරන්නේ ඇය වටා සිටින පිරිමින් විසිනි. කුඩා කාලයේ පියාද , වැඩිමහලු වෙද්දී සහෝදරයින්ද , අනතුරුව සැමියාද ගැහැනියගේ පාලනය අතට ගනියි. 

කොළඹ අහස , රුසියානු මිසයිල මෙන් හිරු කිරණ හිසට එල්ල කරන එක ගිනිගත් දහවලක තරුණයෙකු ඇවිත් "මිස් වෙලාව කීයද...?" යි මගෙන්  අසද්දී මගේ වෙලාව නරක්  වනු ඇතැයි නොසිතුවෙමි.  ඔහුගේ මහලොකු කඩවසම් කමක් තිබුණේ නැත. කළුත් නැත. සුදුත් නැත. උසත් නැත. මිටිත් නැත. 
"ඔයාගේ අතේ ඔරලෝසුවක් තියාගෙන ඇයි මගෙන් අහන්නේ...?" මම ඇසුවෙමි.
"මට දැනගන්න ආසයි මිස්ගේ වෙලාව කීයද කියලා. මගේ වෙලාව දොළහයි තිස් දෙකයි.."
"මගෙත් දොළහයි තිස් දෙකයි."
"ඒ කියන්නේ අපේ වෙලාව හොඳට ගැලපෙනවා. අන්න දැන් තිස් තුන වුණා . බලන්න මිස් ඔයාගෙත් තිස් තුනද කියලා.. ඔයාගෙත් තිස් තුන නම් අපේ වෙලාවල් අන්තිම සුපිරි විදිහට  ගැලපෙනවා..."

තවත් දස මසකට පසු  අපි දෙන්නා විවාහයට සූදානම් වෙද්දී මගේ එකම පැතුම වූයේ මංගල්‍යය දවසේ විදුලිය එන හිටීමක් සිදු නොවේවා කියාය. අපි තෝරා ගත්  හෝටලයේ කළමනාකාර තැන කීවේ අඩුම තරමින් ජෙනරේටර මගින් පැය හතරක කාලයක් සදහා විදුලිය ලබා දිය හැකි බවයි. විවාහ දිනයේ විදුලිය ඇන හිටීමක් සිදුවීම අනාගතය ගැන කෙරෙනා අසුබ නිමිත්තක් යැයි සිතූ මම ජෙනරේටරයකින් විදුලිය ලබා ගැනීම කැඩී බිඳී යන්නට නියමිත අනාගත ප්‍රශ්න වලට පැලැස්තර ඇලවීමක් වැනි යැයි සිතුවෙමි. විදුලි විසන්දියක් නොවේවායි උදේ හවස බුදුන් ගෙන් ඉල්ලා සිටියෙමි. බෝධි පූජාවක් තැබුවෙමි. මහා ලොකු දෙයක් මට ඕනා නැත. වෙඩින්  එක දවස ලයිට් කපන්නේ නැතුව ගත වන්නේ නම් හොඳටෝම ඇති... මම නොපෙනෙන බලවේගයන්ට කිමි. මගේ යාඥාව ගැන නොපෙනෙන බලවේග සිතා බැලුවා විය යුතුය. අපේ මංගල දිනයේ ලයිට් කැපීමක් සිදුවූයේ නැත.

එහෙත් මගේ  ජීවිතයේ විදුලිය විසන්දි වීම ආරම්භ වූයේ මංගල දිනයෙන් පසුව මාස කීපයක් ගෙවී ගිය තැනය . අතුරුගිරිය පාරේ අලුත්  කුලී නිවසට පැමිණි පසු සෙනෙහස , කරුණාව , ඉවසීම නමැති තෙවර්ණ රැහැන් වලින් මම නිවස " වයර් " කළෙමි . පිරිසිදු බවේ , කාර්යක්ෂමතාවයේ  , සුපසන් බවේ විදුලි බල්බ සුදුසු තැන සවි කර පැය විසි හතර පුරාම නිවස ආලෝකමත් කළෙමි . විදුලි බල මණ්ඩලයට මාසයක් පාසා ලයිට් බිල ගෙවීමෙන් විදුලිය ලබාගෙන , අඳුර පළවා දැමිය හැකි මුත් ජීවිතය වෙලා ගන්නා අඳුර පළවා හරින්නට බිලක් ගෙවිය නොහැකිය. අපේ ජීවිතයේ මුල් අවදියේ දිනක , ලයිට් ගිය රැයක ඉටිපන්දම් දල්වා ගෙන , ඉස්තෝප්පුවේ ගල් පඩියේ වාඩිගෙන එකෙනෙකා ගේ සිරුරු ස්පර්ෂ  කරමින් සිටි මොහොතක "ඔයා මොනවද ජීවිතයෙන් බලාපොරොත්තු වෙන්නේ..?" යන අරුම ප්‍රශ්නය නිහාල් ගේ මුවින් පිටවිය.
"මහ ලොකු දෙයක් නෙමෙයි. මම දෙන ආදරයට වටිනාකමක්. මම දෙන ආදරය වගේම  ආදරයක්  මටත් හම්බ වෙනවා නම්... මම අනෙක් මිනිස්සුන්ට ගෞරව කරනවා වගේම අනෙක් මිනිස්සුත් මට ගෞරව කරනවා නම්.... එච්චරයි..." මම කිමි. ඒ වදන් වල අරුත ඔහුට වැටහුණා දැයි නොදනිමි.  ඔහුගේ මුහුණේ මතුවුණු හැගීම් පවා අඳුර නිසා හඳුනා ගන්නට මට නොහැකි විය. 
මගේ රටේ මිනිසුන් සැබෑ ලෙසම ආලෝකය දකින්නට ඇත්තේ විදුලි බලය රටේ නොතිබුණු කාලයේ නොවේදැයි මට සිතුණි . තෙල් පහන් දල්වා ගෙන ජීවිතය ගෙන ගිය කාලයේ අපේ ජීවිත  අදට වඩා ආලෝකමත්ව තිබෙන්නට ඇත. අද කාලයේ දවසකට පැය හය හතක් ලයිට් කපන බව සැබෑය . එහෙත් නිදහස ලැබූ දිනයේ සිට අපේ ජීවිත පැවතියේ අඳුරේ නොවේද..? රට කළ උන් අපේ ආලෝකය සොරා ගෙන තමන්ගේ ජීවිත එළිය කර ගත්හ.  දෛනික කටයුතු හැකි පමණ හොඳින් නිමකර, සාමකාමී , යහපත් දිනයක් ගත කරන්නට මිනිසුන් ගැහැනුන් දරුණු සටනක නිරත වෙති . විදුලිය ඇන හිටියේ නැති වුණත් දවස පුරාම ඔවුන්ගේ ජීවිත ගත වන්නේ අඳුරේය. බහුතරයක් ජීවිත වලට සදහටම ලයිට් කපා ඇතුවා සේය .  

මේ කියන දවසේ රැකියාව නිම කර , පුතුව මොන්ටිසෝරියෙන් උගුල්ලා ගෙන නිවසට විත්  මගේ නරුම සැමියා හට රාත්‍රී කෑම සූදානම් කරන මොහොතේ තව දුරටත් අඳුරේ ජීවත් නොවන්නට මම තීරණය කළෙමි . හැමදාම රෑට ඔහුගෙන් පහරක් කන්නට මට නොහැකිය. කෝපය අධික වූ දිනක ඔහු අතින් මා මියයනු නියතය. ලයිට් කැපීමේ ක්‍රියාවලියේ එකම වාසිය ලෙසින් මා දුටුවේ නිවස අඳුරේ ගිලුණු විට නිහාල් ගේ පහර වලින් ගැලවී සිටින්නට හැකි වීමයි. ලයිට් ගිය සැනින් ඔහු  නින්දට යයි. කරදරයක් නොවේ. අන්තිමේදී විදුලිය විසන්දි නොවේවායි මුළු රටම ප්‍රාර්ථනය කරද්දී  මා පැතුවේ ලයිට් කැපේවා කියාය. 

පහර දෙන්නට වැනි වැනී මා දෙසට පැමිණි නිහාල් , විදුලිය ඇන  හිටීම නිසා ගැසූ පහරේ ඉලක්කය වැරදී ගොස් බිම අද වැටුණි . පැය  කීපයක්ම ගතව ගියද ඔහු තවමත් නැගිට්ටේ නැත. ඔහුගේ සිරුරේ කිසිදු ජීවයක් නැති බව මට දැනේ. මගේ සැමියා ජීවිතය හැර ගියා වැනිය.
"නිහාල්... නැගිටින්න..වැඩට යන්න වෙලාව හරි..." පාන්දර පහට පමණ මම කීමි . තවමත් ලයිට් ආවේ නැත. අහල පහළ ගෙවල් වල නම් හෙමින් සීරුවේ විදුලි බල්බ දැල්වෙන්නට පටන් ගෙන තිබේ. අපේ නිවසේ නැත. එහෙත් මට දැනුණේ ලයිට් නැති වුණත් මෙතෙක් කිසි දිනක නො පැවති ආලෝකයක්  පැමිණ මගේත්  පුතුගේත් ජීවිත වෙලා ගෙන ඇතැයි කියාය.  

හොඳින් හිරු එළිය පැමිණි පසු තාත්තා මැරුණු බව පුතුට කිව යුතුය. පොලිසියට වාර්තා කළ යුතුය. 
"ලයිට් ගිය වෙලා මහත්තයා බිම වැටුණා සර්.. ඔලුව වැදෙන්න ඇති.. මම නිදාගෙන හිටියේ. කිසිම දෙයක් ඇහුණේ නැහැ.."මම කියමි.
"ඒ කියන්නේ තමා දැනගෙන හිටියේ නැහැ හස්බන්ඩ් ඇඳේ නැහැයි කියලා..."
"නැහැ සර්..."
"කීයටද ලයිට් ගියේ...?"
"අටට කපනවා කියලා තිබුණේ ..මම හරියටම වෙලාව බැලුවේ නැහැ.. හස්බන්ඩ් ට කෑම ටික මේසෙට ඇරලා තියලා මම නිදා ගත්තා... "
"තමා කියන්නේ බොරුවක් නේ..."
"නැහැ සර් .. මම මොකටද බොරු කියන්නේ..."
"ඊයේ මේ පැත්තේ කොහෙවත් ලයිට් කපලා නැහැ..මේ ගෙදර විතරක් කොහොමද ලයිට් ගියේ..."
"ඒක නම් දන්නේ නැහැ සර්..."
"බොරු කියන්න එපා.. තමුසේ මේ මිනිහව තල්ලු කෙරුවා නේද...? "
"නැහැ සර්.. ලයිට් ගියා.."
"කීයටද...?"
"අවුරුදු හතකට කළින් .."
"ඈහ්..?"
"මම මේ මිනිහව බැඳපු දවසේ ඉඳලම මගේ ජීවිතේට ලයිට් නැහැ සර්...."

ඔව් .
මේ  කියන දවසේ රැකියාව නිම කර , පුතුව මොන්ටිසෝරියෙන් උගුල්ලා ගෙන නිවසට විත්  මගේ නරුම සැමියා හට රාත්‍රී කෑම සූදානම් කරන මොහොතේ තව දුරටත් අඳුරේ ජීවත් නොවන්නට මම තීරණය කළෙමි . 
"පුතේ තව ටිකකින් තාත්තී  එයි.."
"හ්ම්ම් .."
"තාත්තී අදත් අම්මිට ගහයි..."
"හ්ම්ම්.."
"ඔයාට පුලුවන්ද පොඩි වැඩක් කරන්න..."
"මොකක්ද.."
"ඔයා හැංගිලා බලා ඉදලා තාත්තා නැගිටලා අම්මිට ගහන්න ආවොත් ට්‍රිප්  ස්විච් එක ඕෆ්  කරන්න පුලුවන්ද...? "
"අර ඊයේ ඕෆ් කරපු එකමද...?"
"ඔව් පුතේ ලයිට් ගියාම තාත්තී අම්මිට ගහන්නේ නැහැ.."
"හා.."
"ඔයා ඕෆ් කරනවද...?"
"හා ..."
පොලිස් නිලධාරින් දෙදෙනෙක් සහ නිලධාරිනියක් මදෙස බලා සිටිති. නිහාල් ගේ සිරුර ඉවත් කර තිබේ. ඔහු මගේ ජීවිතයෙන් ද ඉවත්ව ගොස්ය. 
"ඇත්ත කියනවා.. මොකද වුණේ ..?"
"මට එයාව මරන්න ඕන වුණේ නැහැ සර්.. ගුටිකන එකෙන් බේරෙන්නයි ඕන වුණේ ... "
අන්තිමේදී මම කිමි.



Nissanka Rajapaksa

unread,
Dec 22, 2023, 5:59:50 PM12/22/23
to INDRAKA group
54

අවසාන කතාවෙන් 

(ඔල්ගා තොකර්චුක් ගේ කෙටි කතාවකි)



ඉංග්‍රීසි පරිවර්තනය අන්තෝනියා ලොයිඩ් ජෝන්ස්
සිංහල පරිවර්තනය රශ්මික මණ්ඩාවල

ඔවුන්ගේ නිවසින් පිටත හිමෙන් වැසී ගිය බිම මත මියගිය ඇගේ පෝලන්ත සැමියා වූ පෙත්රෝ වැතිර හිඳින විට, ඔවුන් එක්ව ගතකළ ජීවිතය ගැන උක්රේනියානු බිරිඳ පරස්කවීයා සිතයි.  මෙම මතකාවර්ජනයේදී ඇයට, ඇය සහ පෙත්රෝ ජීවත් වූ, පෝලන්ත-උක්රේනියානු නැගෙනහිර දේශසීමාව සෝවියට් හමුදාව විසින් ආක්‍රමණය කර පෝලන්ත ජාතිකයන් බොහෝ පිරිසක් සයිබීරියාවට පිටුවහල් කළ යුද්ධය මතකයට නැගෙයි.  



සෑම වසර හතකටම වරක් ඔබට විවාහ මංගලෝත්සවය නැවත සිදුකරන්නට වන්නේ සෑම වසර හතකටම වරක් ඔබ වෙනස් පුද්ගලයෙකු බවට පත් වන නිසා බව මරින්කා නැන්දා කියන්නට පුරුදුව සිටියාය. එබැවින් ඔ‍බ සියලුම පොරොන්දු, බැඳීම්, උගස් ගිවිසුම්, පටිගත කරන ලද දත්ත සහ පුද්ගල අනන්‍යතාවයන් අළුත් කළ යුතුය. සෑම ආකාරයකම ලියවිලි එයට ඇතුළත්ය.

මා දැනටමත් ගෙවන්නේ මගේ එකොළොස්වන ආත්මයයි. පෙත්රෝ සිය දහතුන් වැන්නය.

මගේ සිහිනයන් තුළ පෙත්රෝ දෙගුණ තෙගුණ විය, එක් මොහොතක හෙතෙම තරුණය, ඊළඟ මොහොතෙහි වයස්ගතය. එක් මොහොතක ඔහු මට බැනවදිමින් සිටින අතර ඊළඟ මොහොතෙහි මා සමඟ හුරතල් වෙයි. අද ස්වප්නයේදි ඔහු සිය අවලස්සන චීන කෝප්පයෙන් උණු තේ පානය කරමින් සිටී. තේවල වාෂ්ප උණුසුම් වන අතර ඒවා ඔහුගේ ඇහි බැමි මත රැඳේ. පසුව ඒවා සීතලට ගල් ගැසී අයිස් කුට්ටි බවට හැරෙන හෙයින් ඔහුට සිය දෑස් විවර කර ගැනීමට නොහැකිය. ඔහු දෑස් අඳ අයෙකු මෙන් මා වෙත පැමිණ ඒවා ඉවත් ඉවත් කරන ලෙස මට පවසයි.  අසරණ වන මම ඒ සඳහා විශේෂිත උපකරණ සොයමින් මුළුතැන්ගෙය පුරා නෙත් යොමමි. ලාච්චුව දෙසට ඇඟිල්ල දිගු කරමින් ඔහු ‘අයිස් දියකරන’ ඉසිනය හෝ එවැනි යමක් පවසයි. ඔබේ ඇස් වලින් අයිස් ඉවත් කරන උපකරණයක් ඇති බව එයින් කියවෙන අතර ඔහු සතුව එකක් තිබේ. ඔහු ඕනෑම දෙයකට සූදානම්ව සිටී.    

පෙත්රෝ සහ මා අතර ඇති තවත් වෙනස් කමක් වන්නේ, යමක් මතක් කරගැනීමට උත්සාහ කිරීමෙන් මා සෑහීමකට පත්වීමය. ආරම්භයේදි ඔබ වෙනස්කම් වලට වඩා සමානකම් ගැන සලකා බලයි. ‘මමත් එහෙමයි’, ‘ඒක හරියටම මට සමානයි’ යන්න සොයාගැනීම සඳහා ඔබ සෑම ආකාරයකම ප්‍රශ්න අසමින් මුළු දවසම ගත කරයි. එහෙත් අවසානය වෙනස්ය. සමානකම් යනු අවිහිංසක ඇස්බැන්දුමකි.  

විනෝදවන ආකාරය ඔහු නොදනීඔහු මට පළමුව මුණගැසෙන විට තිස්පස්වැනි වියට වත් එළඹ නොතිබුණද, ඔහු වයස්ගත බව මට දැනෙන්නේ එනිසා විය හැකිය. තමන්ගේ විවාහ උත්සවයේදී නර්තනයේ යෙදෙන අතරවාරයේ පවා ඔහු සිටියේ රාජකාරියක යෙදෙන අයුරිනි. ඔව්, නර්තනය ඔහුට සතුටක් ගෙන දුන්නේ එය ඔහු බලාපොරොත්තු වූ දෙයක් නිසා ය. එහෙත් එය යාන්ත්‍රිකය. ඔහු කරමින් සිටියේ කුමක්ද, එය හැරෙන්නට වෙන කිසිවක්ම නොකරයි. වැටෙහි තීන්ත ගාමින් සිටිනා විට, ඔහු තීන්ත ගෑම පමණක්ම කළේය. ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කරන විට ඔහු ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කිරීම පමණක්ම කළේය. ඔහු නොණ්ඩි ගසන විට කිසිවෙකුට ඒ ගැන සැකයක් ඇති නොවන ලෙස මුළුමනින්ම නොණ්ඩි ගසයි. ඔහු නිහඬ විට, ගොළු පුද්ගලයෙකු වැනි ය.

එක තැනක මුලු කාලයම සිටීම, එක වරෙක මුළු ස්ථානයේම සිටීම, තමන් වැතිර සිටින ස්ථානයෙන් මිලිමීටරයක්වත් එහා මෙහා නොවී, පිටත පවා නොබලා, නිවසක් නැති සුනඛයෙකු මෙන් එකම තැනකට ඇලී ගැලී හිඳීම හාස්‍යජනකය.

මා ඔහුගේ විලෝමයයි එක තැනක ස්ථාවරව නොසිටින මා අල්ලා ගැනීමට කිසිවෙකුට නොහැකිය. කුනු කසල අතුගාන විට සහ අල පොතු හරින විට මම ක්‍රීඩා කරමි - සියල්ල ක්‍රීඩාවක් බව මම මවාපාමි. පෙත්රෝ මියගිය සහ සීතලෙන් ගල්ගැසී වැතිරී යහපත් කාලයක් වෙනුවෙන් බලාසිටින ආලින්දය මත මම දැන් ක්‍රීඩාවක් කරමි. මම කිසිදාක කිසිවක් බරපතල ලෙස නොගනිමි. දැන් හිම මත ලිපි පාගා පොඩි කර දමමින් මම සතුටු වෙමි.

සෑම දිනකම, හිරු අවරට ගිය වහා මුළු මහත් ලෝකයම නභෝනීල පැහැයට හැරී මිනිත්තු තුනක් පුරා නොකඩවා පවතින බව කියන්නට මරින්කා නැන්දා පුරුදුව සිටියාය. ලෝකය නභෝනීල පැහැයට හැරී ඇති බව දකින මොහොතෙහි ඔබ යමක් ප්‍රාර්ථනය කළහොත් එය සැබෑවක් වේවි. මට දැන් එය කවුළුව හරහා දැකිය හැකිය - ලෝකය නභෝනීල පැහැතිය. කිසිදු ප්‍රාර්ථනාවක් මා තුළ නැති බව දැනගැනිමෙන් මම සහනයට පත්වීමි.

රුසියානුවන් පළමු වරට රාත්‍රියේ පෙනී සිටියේ ඔවුන්ගේ ට්‍රක් රථවල ඒකාකාරී ශබ්දයට මුවා වෙමිනි. ගුවන් විදුලි යන්ත්‍රයට සිය කන තද කරගනිමින් පෙත්රෝ වැලපුණේය.  

පළමු දින කිහිපය කසුකුසු වලින් පිරී තිබිණි. කසුකුසු ගෑම් හැරෙන්නට මිනිස්සු වෙන කිසිවක් නොකළහ. කසුකුසුව චිමිනියකින් නැගෙන දුමාරයක් සේ ගම්මානයෙන් ඉහළ නැගී තිරිගු යායවල් වල ගෑවි නොගෑවි ගලා ගියේය. ඉන්පසු සියල්ල නිහඬ විය. ඔවුහු පළමුව ගුවන් විදුලි යන්ත්‍ර උදුරා ගෙන ගියහ. නිවස තුල වාඩිවී ඔබ බලා සිටිය යුතුය. ඔවුහු දේවල් ලියා ගනිමින්, ලැයිස්තු හදමින් සහ සංවිධානය කරමින් සිටියහ. සැප්තැම්බරයේ දුහුවිල්ල කහ පැහැ වළාවන් සේ නංවමින් ඔවුහු දිවා කාලයේදී හමුදා වාහනවලින් එහා මෙහා ගියහ.  

පෙත්රෝට රැකියාව අහිමි විය. සිය නේවාසික කාමර සකස් කළ පාසල තුළින් රාත්‍රියේදී ඔවුන් හඬ නංවනු ඔබට ඇසිය හැකිය - ඔවුහු බිත්තියට, නිව්ටන් ගේ සහ කොපර්නිකස් ගේ ආලේඛ්‍ය සිතුවම් වලට නොකඩවා වෙඩි තැබුවෝය.  


ඔවුහු පෝලන්ත ජාතිකයන් පිටුවහල්කල බව පැහැදිලිය. මම එය මයිරන්ගෙන් දැනගතිමි. එහෙත් ඔහු ඇත්තවශයෙන්ම එය ප්‍රකාශ කළේ වෙනත් දෙයක් පවසමිනි. ඔහු එය කීවේ මෙසේයි: “ ඔයාට හොඳම දේ ලැබිලා තියෙනවා. ඔයා නාකි මිනිහෙක්ව කසාද බැඳගත්තා. දැන් ඔයාට එයා එක්කම හිම වලස්සු බලන්න යන්න පුලුවන්.” නැතහොත් එම පුවත ගෙනාවේ මරින්කා නැන්දා විය හැකිය. ඇය එම මොහොතෙහි සැබවින්ම කී දේ නම්“මොනවහරි කරන්න. ඔයාලව මෙහෙන් ගෙනියන්න උං ට ඔයා ඉඩදුන්නොත්, ඔය දෙන්නම මැරිලා යාවි.” එය සිදුවිය හැකි යැයි සිතා මම පෙත්රෝ පිටතට ගිය අතරවාරයේ , බිත්තියේ තිබූ අයිකනය ඉවත්කර පුවත්පතකින් කපාගත් ස්ටාලින්ගේ රුව සහිත කොටස එල්වා තැබීමි.     

පසුව ඔවුහු අපේ නවාතැනට රුසියානු යුවළක් එක් කළහ. ඔවුහු වෛද්‍යවරු වූහ. එදින සිට අප මුළුතැන්ගෙය හවුලේ බෙදාගැනීම පෙත්රෝට දරාගත නොහැකි විය. අපේ කාමරයේ ඇඳේ වාඩිවී දින ගත කළ ඔහු පිටතට පැමිණියේ - එම යුවළ දැකීමෙන් වැළකිම සඳහා- ඔවුන් මුළුතැන්ගෙයින් ඉවත් ව ගිය පසුවය. එහෙත් සැබවින්ම ඔවුහු ප්‍රියජනක පුද්ගලයෝ වූහ. අපට ඉතා හොඳින් එකිනෙකා වටහාගත නොහැකි වුවද, සන්නිවේදනය සඳහා ඔබට වචන කොපමණ ප්‍රමාණයක් අවැසිද?  

කුඩා සහ පියකරු බවින් යුතු ඕ, පිරිපුන් තොල් හා පුළුල් මුහුණක් සහිත, කුඩා මුගටියකු වන් තැනැත්තියක් වූවාය. දිනක් අප ඇඳුම් ගැන කතාකරමින් සිටින විට, එකිනෙකාගේ සායවල් මසා තිබුණු රෙදි වර්ගය අල්ලා බලමින් සහ එකිනෙකාගේ බ්ලවුස් වල උරහිස් පත් පරීක්ෂා කරන අතර, මේ තරුණිය ල්යුබා,  එකදු යට ඇඳුමක් හෝ හැඳ නොසිටි බව මම සොයාගතිමි.  යුධ කාල සීමාව තුළ ඔවුන් තුවක්කු සහ රොකට් විදින විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කළ ද, එකම එක පෑන්ටියක්වත් නිපදවා නැත. අප එකිනෙකාගේ ඇඳුම් මාරු කරමින් අඳින්නට උත්සාහ කරන අතරවාරයේ, ඇගේ නිරුවත් නිතඹයන් සහ පුදුම සිතෙන තරම් පැහැදිලි මවිල් වලින් පිරී ගිය ඇගේ කුඩා මෘගයා දැකීමෙන් මම කම්පනයට පත්වීමි.

යට කලිසම්, එතරම් වැදගත් බව ඔවුන් කිසිදාක වටහාගෙන සිටි බවක් පෙනෙන්නට නොතිබුණ අතර- ඒවා බැරෑරුම් ලෙස සැලකිය නොහැකිය. එහෙත් අපට ලබාගත හැකි යට කලිසම් වලට ස්තූතිවන්ත වන්නට එය වෙනස් විය. විවාහ මංගල උත්සවයේදී ත්‍යාගයක් ලෙස පෙත්රෝගේ දෙමාපියන් මට දුන් මහන මැෂිම භාවිත කර මම නිලධාරීන්ගේ බිරින්දෑවරුන් සඳහා යට කලිසම් මැසීමට පටන් ගතිමි. පත්තර වලින් මෝස්තර කිහිපයක් කපාගත් මම,  මල් මල් කපු රෙදි, සුසිනිඳු, ලෙස්සන සුලු සැටින් සහ සුදු කපු ඇතිරිලි වලින් යට කලිසම් දුසිම් ගනණක් මැසුවෙමි. අලු පැහැති දවටනයක ඒවා ඔතාගෙන යන, ල්යුබා ගේ සැමියා පියදෝර් ඉවානොවිච්, යට කලිසම් වලට මුදල්. මත්පැන් සහ තේ කොළ රැගෙන එයි. ජීවිතයේ ප්‍රථම වතාවට මම මා වෙනුවෙන් සහ පවුල වෙනුවෙන් වැඩ කරමින් සිටිමි. ත්රූස්කාවියෙස්ක් වෙත යාමට අපට හැකි විය, මෙවර ඔහුට අයිස් ක්‍රීම් එකක් සඳහා ආරාධනා කලේ මා ය - ඒවා සරලවම අපේ අත් අතරින් දියවී ගියේය. කඩ සාප්පු තවමත් හිස්ව නොපැවති හෙයින්, අලංකාර පාවහන් යුවලක් සහ සුවඳ විලවුන් බදුනක් රැගෙන ආවෙමි. ලුවින් හි මගේ නවාතැනෙහි තවමත් ඒ බඳුන ඇතහිස් වුවද, එය තවමත් ඒ විලවුන් සුවඳේ මතකය විසුරුවාලයි, එහි අදහස නම් මගේ කණ්ණාඩි මේසය මත නිහඩව තිබෙන එය, මේ ගමනේදී වඩා වැදගත් දේවල් අහිමි වී යන අතරවාරයේ, ලෝකයෙන් බාගයක වටයක් මා සමඟ ගමන් කළ බවය. කාලවර්ණ මූඩිය සහිත මේ මිටි කුඩා බෝතලය සෑම දෙයකින්ම නොනැසී පැවතියද, මගේ දරුවාට එසේ දිවි ගලවාගත නොහැකි විය.     

එම යටකලිසම් අපේ සිහිය මොට කළේය. සියලුම දේ සඳහා විසඳුම වූ යට කලිසම් සහ එම ව්‍යාපාරයේ සාර්ථකත්වය දිගින් දිගටම පැවතෙමින් අපව නපුරෙන් ආරක්ෂා කරනු ඇතැයි මම සිතුවෙමි. බොහෝ පවුල් අතුරුදන් වන බවට කටකතා පැතිරී ගිය අතර සන්ධ්‍යාව වන විට පැමිණි ට්‍රක් රථ ඔවුන්ව නැගෙනහිර දෙසට ගෙන ගියේය. අපගේ ගම්මානයේ තවමත් එවැනි දෙයක් සිදු නොවූයේ සමහර විටෙක සොල්දාදුවන් පාසලේ නේවාසිකව සිටින බැවින් විය හැකිය, වැටෙන් එහා පැත්තේ සිදුවන දෙය වටහා ගැනීමට අසීරු ය. පළමුව මම වැඩ කරන බවක් අඟවමින්, රෙදි සෝදන අයුරින් හෝ ප්ලම් ගස් දෙක අතර බඳින ලද වැලෙහි රෙදි වනන අයුරක් මවාපාමින් යක්ෂයාගේ වාසස්ථානය දෙස ඇහැ ගසාගෙන සිටියෙමි. ඔවුහු පඩිපෙළ දිගේ දුවමින් ගොස් ගොඩනැගිල්ල තුළ අතුරුදන්ව, නැවතත් කලබලයෙන් එතුලින් මතුව, ජීප් රථය තුළට රිංගා වේගයෙන් ආපසු ගියහ. ඔවුන්ගේ මුහුණු අධ්‍යනය කළ මම ඔවුන්ගේ උරහිස්වල සලකුණු වූ තනතුරු මතක තබා ගතිමි.  ඔවුහු සියල්ල දත්තෝය.  දැන් ඒ ගැන සිතන විට ‘නින්ද’ යන වචනය මගේ මනසට එයි - නිදා සිටින අයුරින් ඔවුහු තමන් ගැන විශ්වාසයෙන් පසුවූහ. බෙල්ල දක්වා තදින් පියවූ බොත්තම් සහිත වියැකී ගිය නිල ඇඳුම් වලින් සැරසී ඔවුන් සිටියේ  නිදා සිටින අතරේ ආරම්භයේ සිට අවසානය දක්වා සියල්ල ඔවුන්ගේ මනසේ සිදුවන අයුරින්, දන්නා ආකාරයටය. සිදුවිය යුතු දේ ඔවුහු මට පැවසූහ. සියල්ලෝම තමන්ගේම නව නිපැයුමක ක්‍රීඩාවක් කරමින් සිටියහ.    

එහෙත් ඔවුන්ගෙන් අයෙකු වූ උරහිසේ තරු පැළඳි වඩා වැදගත්ම තැනැත්තා සිටියේ භයානක සිහිනයකින් අවදි වූවාක් මෙන්ය. පළමුව මා සිතුවේ එකම ගමන් ලීලාවක් ඇති සහ කලු වැසුම් සහිත බොරු අතකින් හෙබි පුද්ගලයන් දෙදෙනෙකු බවය. පාසල වෙත දිවෙන පඩි පෙළේ ඉහළට යන විට ඔහු එක් අයෙකු වූ අතර ආපසු පඩිපෙළ බැස එන විට තවත් අයෙකු විය.  පසුව, මා ඔහුව ඉදිරියෙන් දුටු විට සහ අපේ බැල්මවල් කෙමෙන් හමුවන විට මම සත්‍යය වටහා ගතිමිජීවයෙන් තොර ඔහුගේ මුහුණෙහි වම් පැත්ත, කැළැල් වලින් ගොතන ලද වේදනාකාරී විකෘතියකි. ඔහුගේ වම් අත ලීයෙන් සාදා තිබූ අතර ඔහුගේ වම් පාදය අදිමින් යන නිසා දකුණු පාදයේ වේගයට ගලපාගත නොහැකි විය. ඉතින් ඔහු පාසල තුළට යන විට මම ඔහුගේ දකුණු පාර්ශවය - තරුණ බවින් පිරි මුහුණ, දිදුලන දෑස්, දැඩි සෘජු නහය සහ ඔහුගේ තොල් මත සිගරට්ටුවක් තබාගෙන ඉන්නා අත දුටුවෙමි. එහෙත් හෙතෙම පිටතට පැමිණෙන සෑම විටකම, ලෝකාවසානයෙන් ආශ්චර්යමත් ලෙස ගැලවීමට සමත් වූවෙකු මෙන් පෙනෙන හෙතෙම සියල්ල තිබියදීත් ජීවත්වීම තෝරාගත්, වේදනාවෙන් බරිත ජීවියෙකි.   

මම මගේ හොඳම මල් වැටුණු ඇඳුම හැඳ, තොල් ලේ රතු පැහැයෙන් හැඩ ගන්වාගෙන, පාසල වෙත ගියෙමි. කුමක් කළ යුතු දැයි හෝ අපට සාමයෙන් ඉන්නට ඉඩ දෙන ලෙස මේ මිනිසා එකඟ කරවා ගන්නට කවර ගුරුකමක් කළ යුතු දැයි මම නොදැන සිටියෙමි.  යූරි ලිබියර්මන් සමඟ මා මුහුණට මුහුණ හමුවූයේ එලෙසිනි. ඔහු අසුන්ගෙන ද, මම සිටගෙන ද සිටියෙමි. මේසය මත වූ පිස්තෝලයේ කාණුව ටයිල් උඳුන දෙසට යොමුව තිබිණි. මගේ සැමියාට පෝලන්ත පෙළපත් නාමයක් තිබුණද, ඔහු පෝලන්තයෙකු නොවන බව මෙන්ම අප දෙදෙනාම යූනියේට් පල්ලියට අයත් බව සහ නිවසේ කටයුතු මා හොඳින් බලාගන්නා අතරේ, සැමියාටද යමක් කමක් කරගත හැකි නිසා අප යහපත් ලෙස ජීවත්වීමට එරෙහිව වටපිටාවේ අය අපට ඊර්ෂියා කරමින් කට කතා ගොතන බව ඇතුළට පැමිණි විගසම මම එක්වරම පැවසීමි. මා කුඩා දැරියක මෙන හැසිරුණු බව මම වටහා ගතිමි. මෙම ව්‍යාජයන් අනුකම්පා සහගත විය. කෙසේ වුවද, ඔවුන් සතුව සියලුම විස්තර සහ නිකුත් කරන ලද නියෝග ඇතුළත් ලිපි ගොණු තිබිණි. “මිනිස්සු තමුන්ලට අකමැති වෙන්න බැඳිලා ඉන්නවා. තමුන් නින්දිතයි,” ඔහු රුසියානු බසින් පවසා ඔහුගේ මුහුණේ ජීවයෙන් පිරි පැත්තෙන් සිනාසුණේය. ඉතිරි අර්ධය කිසිදු චලනයක් නොමැතිව එලෙසම පැවතියේය.  

අපට හිමිවන දඬුවම කුමක්දැයි වටහා ගැනීම සඳහා මෙම දෙබිඩි මුහුණ අර්ථ නිරූපණය කිරීමට මම උත්සාහ කළෙමි. කිසිවෙකු දොරට තට්ටු කර ඇතුළු වූ අතර ලුතිනන් ලිබියර්මන් හදිසියේම වෙනත් වැඩක් සමඟ කාර්යයබහුල වී මා වෙතට අවධානය යොමුකිරීම නවතාලූයේය. ආත්ම විශ්වාසය අහිමි ව ගිය මම දොර දෙසට පාවී ගියෙමි. ඔහු රිසීවරය අතේ තබාගෙන කාමරය පුරා නෙත් යොමන විට මට ඔහුගේ මුහුණ එක් පසෙකින් ද, දැන් අනෙක් පැත්තෙන් ද දැකගත හැකි ය. ඔහුගේ බැල්ම ව්‍යාකූල ලෙසින් මගේ සපත්තු, කකුල් සහ ඇඳුම හරහා ගියේය.

“අද හවසට එනවා. මට දැන් වෙලාවක් නෑ.” ඔහු මට පවසා රිසීවරය පහත හෙළුවේය.  

මරින්කා නැන්දණිය බැලීමට යන බව මම පෙත්රෝට පැවසීමි. ඔහු මුළුතැන්ගෙයි බිම සිට ලල්කා සමඟ සෙල්ලම් කරන අතරවාරයේ නිවසින් පිටවීමට පෙර මම රහසින් වොඩ්කා ස්වල්පයක් පානය කළෙමි.

සඳෙන් ඇතිවුණු එක් සෙවණැලි පැල්ලමක සිට අනෙක් පැල්ලමට පනිමින් මම වැටට ආසන්නයෙන් වැට දිගේ ගමන් කළෙමි. මා තුළ උණුසුමක් වර්ධනය වන බව දැනුණ අතර මගේ ඇඳුමේ අත් යට දහදියෙන් පෙඟී ගියේය. පාසලට ඇතුළු වීමට මට ඉඩ නොදුන් රැකවල් භටයාතම රයිපලය මගේ දිසාවට එල්ල කර රුසියන් බසින් මෙසේ කීවේය“අහකට පලයං ගෑණියේ,” ඉතින් මම ගසක සෙවණැල්ලක් යට සිටගෙන, කකුලෙන් කකුලට බරදී කවුළුව දෙසට නෙත් යොමාගෙන සිටියෙමි. මගේ ඇඳුමේ අත් යට වූ පැල්ලම් වේලී යන විට මාව වෙව්ලන්නට පටන් ගත්තේය.  “මේ කාලකණ්නි ලිබියර්මන්, මහලොකු බොල්ෂෙවික්කාරයා,” හුස්ම වැටෙන අතරේ මම කෝපයෙන් කීවෙමි. ආපසු නිවස බලා යාමට සැරසුණ මොහොතේ මට කවුළුවෙන් ඔහුගේ මුහුණේ මළ අර්ධය පෙනුණි. ඔහුට මා දැකිය නොහැකියඔහු සඳ දෙස නෙත් යොමාගෙන සිටියේය. සමහරවිට එය ඔහුට කැඩපතක් දෙස බලන්නාක් මෙන් විය හැකිය - සඳට මෙන්ම ඔහුටද මුහුණු දෙකක් ඇත.

වෙව්ලමින්, මම සෙවණැල්ලෙන් පිටතට පැමිණියෙමි. කවුළුවෙන් පෙනුණු මුහුණ කෙමෙන් මා දෙසට එල්ල වී පසුව සැඟව ගියේය. ඉක්මනින්නම පඩිපෙළ මත ප්‍රාදුර්භූත වූ හේ සිටගෙන බලා සිටියේය. රැකවල්භටයා මීට පෙර මා නොදුටු බවක් මවාපෑවේය. ලිබියර්මන් පාසල් කොරිඩෝව දිගේ මා කැඳවාගෙන ගොස් පඩිපෙළ නැග පෙත්රෝ සහ මා විවාහ වූ අලුත වාසය කළ නිල නිවාසය වෙත රැගෙන ගියේය. මනමාලයකුගේ සිහිනමය අනුවාදයක් සේ ඔහු මා ඔහුගේ නිවසට රැගෙන ගියේය. එහි තිබූ අපගේ පැරණි නිදන කාමරයේ බිම වූ සැම පැල්ලමක්ම, බිත්තිවල වූ සෑම සලකුණක්ම මම දැන සිටියෙමි. අපගේ නව නිවසට ගෙනයාමට නොහැකි තරම් ගරා වැටුණු පැරණි විශාල සයනය තවමත් එහි තිබිණි. එහි වාඩිවන ලෙස ඔහු මට පැවසුවේය. “ඔයාගෙ නම මොකක්ද?” සෙමෙන් සහ විධිමත් ලෙස සිය ඇඳුම් ගලවා, උසැති වියලේ සිය නිල ඇඳුම එල්වන අතරේ ඔහු ඇසුවේය. මම ඔහුට පිළිතුරු දෙමින්, උපන්දිනයද ඇතුළුව පෙත්රෝ ගේ විස්තර ඔහුට ලබාදුනිමි. දැන් මට ලිබියර්මන්ගේ සම්පූර්ණ වම් පැත්ත නිදා සිටින බවක් දිස්විය - ඔහුගේ අප්‍රාණිකව එල්ලා වැටෙන වමත බොරු අතකින් අවසන් වෙන අතරවාරයේ, වම් පාදය සඳ එළියට දිදුළන කැලිපරයක් සේ ඇකිලී තිබිණි. ඔහු මා ඉදිරියේ ලැජ්ජාවට පත් නොවූයේ මා මනුෂ්‍යයෙකු ලෙස නොසලකන ආකාරයෙනි.      

ඔහු මා මත වැතිරගත් විට, මා ගනුදෙනු කල යුත්තේ ඔහුගේ ජීවි අර්ධය සමඟ බව මම මවා ගතිමි.  ඔහුගේ ශරීරය නම්‍යශීලි සහ විශ්වාසදායි විය. අවසානයේදී මා පියකරු බව ඔහු තරමක් අනියම් ආකාරයකින් පැවසුවද ඔහු සැබවින්ම මා දෙස බලා සිටියේ නැත- එය හරියට කාමරයේ බිත්ති හතර මැද වූ හිස් අවකාශයට යමක් එකතු කල යුතු යැයි ඔහුට හැඟී ගියා වැනි ය.  

මා නැවත නිවසට එන විට පෙත්රෝ සහ දරුවා නින්දේය. බේසමට වතුර පුරවා ගත් මම අඳුරු මුළුගැන්ගෙයි සිට මගේ ඇඟ සෝදාගතිමි. මට දැනුණ පිළිකුල් සහගත වෙව්ලීම, පාපය පිළිබඳ මගේ හැඟීම අඩපණ කළේය. එහෙත් පසුව එක්වරම දරාගත නොහැකි ලැජ්ජාසහගත වේදනාවක් පැමිණියේය. ඒ ගැන හිතන්නෙපා, මේ ඔබේ රතු පැහැති ඇඳුමින් සැරසුනු හීනි තොල් සහිත පරස්කවීය. පරාසය තුළ ගින්න මියයමින් තිබිණි.    


ඔහුව හමුවීමට මම තවත් කිහිපවරක් ම ගියෙමි. එය බිලි පූජාවකි. ඔහුගේ ඉල්ලීම් ගැන අනාවැකි කිව නොහැකි, අබලන්ව ගිය නැගෙනහිර ඒකාධිපතියෙකු ඉදිරියේ මම ඕනෑම  දෙයකට සූදානම්ව සිටියෙමි. එය සිදුවන විට මම දෑස් පියාගෙන මගේ හිස ජරාවාසව ගිය බිත්තිය දෙසට හරවා ගැනීමට උත්සාහ කළද ඔහු එය තමන් දෙසට හරවා ගනී. ඔහුට අවශ්‍ය වූයේ මා ඔහු දෙස බලාසිටීමය. ඔහුගේ ආගන්තුක පසමිතුරු නිලඇඳුම පුරා පැතිරී ඇති දුම්වැටි ගන්ධය, ඔහුගේ මුහුණේ සෑම හැරවුමකින්ම ඇති කරන මවිතය නිසා මම ඔහුට මහත් සේ ආශා කරන්නට පටන් ගතිමි. ඔහු විටෙක ජීවත් වෙයි, විටෙක මියයයි, විටෙක මුදු මොළොක් වෙයි, විටෙක ක්‍රෑර වෙයි. මා සමඟ නිදි වදින ඔහු ඉන්පසුව මිනිසුන්ට මරණ දඬුවම ලබාදෙයි. ගන වන ඇස්පික් එකක් මෙන්, ඔහුගේ බලය පිළීකුල් සහගත වුවද, එයට යටත් වීමට, එහි දියවී යාමට, නොසැලී සිටීමට සහ බලපෑමකින් තොරව ඕනෑම ආකාරයක අභිනයක් කිරීමේ ආශාවක් මට දැනුණි. ස්තැද්නිකා සහ ඇගේ දෙමාපියන් වූ රුචින්ස්ක්ලා මෙන්ම තවත් අසල්වැසියන් පිරිසක් පිටුවහල් කිරීම සුපරීක්ෂා කිරීමට දිනක් ඔහු හමුදා වාහනයකින් පැමිණෙනු මම දුටිමි.  ඔහු මට කුකුළෙකු මෙන් පක්ෂියෙකු මතක් කළේ, ඔහුගේ දෑස් හිස් බැවිනි.  රුසියානුවන් හැඟීම්බර සහ භාවාතිශය බව ඔවුහු පවසති. “ඔයා කවුද?” නැතහොත් ඔහුගේ පපුව හරහා වූ විශාල කැළල දිගේ මගේ ඇගිල්ලෙන් රේඛාවක් අඳින අතරතුර “ඔයාට මොකක්ද සිද්ධවුණේ?” යැයි ඔහුගෙන් අසන්නට මම පුරුදුව සිටියෙමි. ඔහු සිනාවකින් මුව සරසාගෙන දුම්වැටියක් ගත්තා මිස කිසිදාක මට කිසිවක් පැවසුවේ නැත.

 

සූට්කේස සහ බඩු පොදි බැඳ ගත් ජනතාව දිගු, බලාපොරොත්තු රහිත තීරුවක් සාදනු අපි ජනේලයෙන් බලා සිටියෙමු. අරුණෝදය යාන්තමින් උදාවුණා පමණය. නිදා සිටින ලල්කා මම මගේ දෑතට ගතිමි. පෙත්රෝ දුම්වැටියක් බොමින් සිටියේය. අපගේ නිවසේ ද්වාරයෙහි සුරදූතයෙකුගේ ලකුණක් ලේ වලින් පින්තාරු කර ඇතිද? යූරි ලිබියර්මන් කිසිදු හැඟීමක් හඳුනාගත නොහැකි ඔහුගේ මුහුණේ චලනය නොවන පැත්ත අප දෙසට හරවාගෙන කාරය අසල සිටගෙන සිටියේය. “මොකක්ද සිද්ධ වුණේ? ඇයි අපිව ගෙනියන්නැත්තෙ? හෙට අනිවාර්යයෙන්ම අපේ වාරේ.” “ඔහු ඉක්මනින්ම එය දැනගනීවි,” මම සිතුවෙමි. ඉන්පසුව දිනෙන් දින දුර්මුඛ වෙමින් දවස පුරාම ඔහු මෙසේ ඇසුවේය “ඇයි මාව ගෙනියන්නැත්තෙ”  

වැඩිකල් යන්නට මත්තෙන් මා ගැබ්ගෙන ඇති බැව් මට වැටහිණි. මම මරින්කා නැන්දා හමුවී ඇයට සියල්ල පැවසීමි.  ඕ මගේ මුහුණ පුරා අතුල් පහරක් එල්ල කලාය. ඉන්පසුව ඇය විසින් මා යාබද ගමට රැගෙන ගිය අතර එහි සිටි මතියෝනා නම් වයසක කත මගේ ගැබ නසා දැමුවාය.  මම මරින්කා නැන්දාගේ නිවසේ රැය පහන් කරන අතරතුර, මා අසනීපෙන් බව පෙත්රෝට පැවසීමට ඇය මගේ නිවසට ගියාය. මාසයක් පුරා මම අසනීපයෙන් පසුවූයෙමි. මරින්කා මා කිසිවිටෙක තනි නොකළේ මට සියදිවි නසාගැනීමට අවශ්‍ය වූ නිසාවෙනි. දිව්‍යමය ඵලවිපාකයක් මා මත පතිත වීමට මට උවමනා වී තිබිණි.  ඇය සිතා සිටියේ දරුවාගේ අහිමි වීම ගැන මා කම්පාවෙන් සිටින බවය. එහෙත් මට උවමනා වූයේ සතුටින් මිය යන්නටය.   

වරක් රුසියානු සොල්දාදුවෙක් පැමිණ පිවිසුම අසල සිට මරින්කා සමඟ කතා බහ කොට ආපසු ගියේය. ඔහුට අවශ්‍ය වූයේ කුමක්දැයි ඇය මට නොකීවාය. ඇය පෙත්රෝ ගැන කතාකරමින් හැමවිටම මෙසේ කීවාය : ඔයා එයාට ආදරේ කරන්න ඉගෙන ගන්න ඕන එයා ඔයාට වඩා දුර්වලයි කියලා හිතලා මිසක්, ශක්තිමත් කියලා හිතලා නෙමේ.”

පසුව අණ දෙන නිලධාරීන් කිසියම් ප්‍රදේශයකට මාරු කර යවා ඇති බව සැලවුවද, ඒ කවර දිසාවකටදැයි කිසිවෙකු හෝ දැන නොසිටියහ. කාලයකට පසුව මරින්කා සොල්දාදුවා විසින් ගෙනා ලිබියර්මන් ගේ කුඩා පාර්සලය මට දුන්නාය. එතුල අළු පැහැති කොළ කැබැල්ලක රුසියානු බසින් ලියන ලද ලිපිනයක් , කුරුසියක් සහිත රත්තරන් මාලයක්. මුදු කිහිපයක් සහ හමුදා කමිසයකින් ඉරා දමන ලද දේවල් යැයි පෙනෙන ද්‍රව්‍යයන් කිහිපයක් විය. මම ඒ සියල්ල කොළයෙහිම ඔතා පළතුරු වත්තෙහි ප්ලම් ගසක් යට වළ දැමුවෙමි. දරුවා උදෙසා පමා වූ මළගමකි.

මට තවමත් අමුතු දෙයක් දැකිය හැකිය - ලිබියර්මන්ගේ තරමක් විරූපි නියපොත්ත සහිත ලොකු ඇඟිල්ලමෙතැන මේ ලොකු ඇඟිල්ලෙහි, දෙබිඩි මුහුණක් සහිත මිනිසාගේ සියලු බල පරාක්‍රමයන් බිඳ වැටී, අවිචක්ෂණ සහ හාස්‍යජනක බවට පත්වෙයි. එම ඇඟිල්ල ගැන මම ලැජ්ජාවට පත්වෙමි. ලියකියවිලි වලින් ආවරණය වී ඇති ඔහුගේ මේසය මත ඇති වූ  අපූර්ව ලිංගික එකතුවීමක් ගැන හෝ එය ගෙන ආ සන්තුෂ්ඨියේ සරැළි ගැන මම ලැජ්ජා නොවෙමි. සැඟවා තිබිය යුතු දේ පැහැදිලිව පෙනෙන්නට තිබුණි.

ඊළඟ මාස කිහිපය තුළ උක්රේනියානුවෝ අතහැර දමා තිබූ කොටේජ වලට ගියහ. ඔවුන්ගෙන් සමහරක්, හොරොදිස්කි සහ කොසොවිච් වැනි මගේ ඥාතීන් වුවද ඔවුන් අප සමඟ හැසිරුණේ පෙරදී මෙන් නොව සැකයෙන් යුතුවය. සැබවින්ම හොරොදිස්කිට පෝලන්ත බිරිඳක් සිටි අතර එය පැහැදිලිවම පෝලන්ත සැමියෙක් සිටීමට වඩා යහපත් විය. කැපී පෙනිය යුතු වුවද, සැබවින්ම කාන්තාවන් කැපී පෙනුනේ නැත. ඇත්තෙන්ම, මුළු මහත් ජාතියම ඇරඹුණේ ඔවුන්ගේ කුසයෙනි.

“මට කියන්න. ඒක ඇත්තද?” පසු කාලයක පෙත්රෝ අසා සිටියේ මගේ දෑස් දෙස තදින් බලාගෙනය.

“නෑ. ඒක ඇත්ත නෙමෙයි,” මම පැවසුවෙමි.



Nissanka Rajapaksa

unread,
Dec 23, 2023, 4:59:03 PM12/23/23
to INDRAKA group
55
ප්‍රේමයකට පසු 

- A short story by: Epic Writer Duo

ස්පර්ශ නොවිය යුතු යැයි ඇයත්, ස්පර්ශ නොකළ යුතු යැයි මාත්, පැකිළුණු එක් තත්පරයක; වෙවුලාගිය තේ කෝප්පයෙන් හැළුණු, උණු තේ වතුරට, පිලිස්සුණු ඇඟිලි තුඩුවල වේදනාව, මුවගින් සිනාසී, අපි රහසේම දරා ගතිමු......

මහත්තයා හදිස්සියේ මැරුණොත්, මුළු පවුලම අනාථ වෙනවා. බලන්ඩ මේ පුංචි දුවගේ මූණ දිහා. මේ ළමයාගේ අනාගතේට මොකද වෙන්නේ....? මහත්යාගේ ලස්සන බිරිඳ; ජීවිතේ පටන් ගත්තා විතරයි.

හදිසි අණතුරකින්, මහත්තයා සදාකාලික ආබාධිතයෙක් වෙන්ඩ පුළුවන්. කොයි මොහොතේ, මෙනවා වෙයිද කියන්ඩ, අපි දන්නේ නෑ. ජීවිතේ කියන්නේ, මහා පුදුම දෙයක්, අපි හිතන දේවල් නෙවෙයි සිද්ධ වෙන්නේ.

රෝගාබාධයක දී හෝ ශල්‍යකර්මය දී, සම්පූර්ණ රෝහල් ගාස්තු ආවරණයක්. හදිස්සි මරණයක දී, මහත්තයාගේ බිරිඳට, රැපියල් ලක්ෂ අසූවක මුදලක් ලැබෙනවා. මහත්යා ජීවතුන් අතර නැතත්; මේ පුංචි දුවටයි, බිරිඳටයි, කාටවත් අත පාන්නේ නැතුව, සතුටින් ජීවත් වෙන්ඩ පුළුවන්.

මාසික වාරිකය, රුපියල් තුන්දාහක් විතරයි. පවුලේ අනාගතේ ගැන, හොඳ තීරණයක් ගන්නකොට, දෙපාරක් හිතන්ඩ එපා මහත්තයා. මෙන්න මෙතනින්, අස්සන් කරන්ඩ.

ආදරය, භිය, විශ්වාසය වැණි කාරණා, ඕනෑම තරාතිරමක පිරිමියෙකුට පහසුවෙන්ම අළෙවි කළ හැකි බව, මම හොඳාකාරවම දණිමි. ඉතින්, අවිනිශ්චිත හෙට දවස ගැන භිය, ඔහුගේ සිතේ රෝපණය කළෙමි. මුහුණේ ඉරියව් වෙනස් වී, කැළඹී ගිය ඔහු, බිරිඳ සහ දරුවා දෙස ආදරණිය බැල්මක් හෙළුවේ ය. අවසානයේ දී; මාගේ වචන කෙරෙහි විශ්වාසය තැබූ ඔහු, ගිවිසුමේ සෑම පිටුවක්ම, අත්සන් කරන්නට විය.

ඉන් පසු; ඇය පිරිනැමූ තේ කෝප්පය නිවී යෑමට මත්තෙන්, ඇගේ සැමියා සමග පිළිසඳරේ යෙදෙමින්, රසවින්දෙමි. හදිසි අණතුරක් හෝ අකල් මරණයක් ඔහුට සිදු නොවේවා! කියා ප්‍රාර්ථනා කිරීමට, මා ශාන්තුවරයෙකු නොව. ප්‍රේමය මිය ගිය, ජීවිත රක්ෂණ නියෝජිතයෙකු පමණි. සැලසුම් කරගත් පරිධි, ඇගේ සැමියා හට, ජීවිත රක්ෂණ ආවරණයක් ලබා දුණිමි.
----------------------------------------

මම උසස් පෙළ විද්‍යාව විෂයයන් හැදෑරුවේ. ඉස්කෝලේ උසස් පෙළ පන්තිය පටන් අරන්, මාස එකහමාරකට විතර පස්සේ, සුරංගි අපේ පන්තියට අළුතින් ආවේ. ටිකක් කොටයි, සුදුයි. ඒ වගේම මහතයි. කැරළි කෙණ්ඩේ, හිනාවෙනකොට කම්මුලේ දකුණු පැත්තේ, පුංචියට වලක් මතුවෙනවා. ඉතින්, අහන්ඩත් දෙයක් ද, එයාව දැක්ක පළවෙනි දවසෙම, මම ඒ වළේ ගිළුනා.

දන්න සෙල්ලම් එක්කොම දාලා, මම එයාගේ කැමැත්ත ඉල්ලුවා. විභාගය ඉවර වෙනකල්, වචනයක් දෙන්ඩ බෑම කිව්වා. ඒත්, මට වගේම එයාටත්, ආදරේ හංගගෙන ඉන්ඩ බැරි වුණා. විභාගය ඉවර වෙලත්, අවුරුදු හතරක් යනකල්ම, අපේ සම්භන්ධය දිගටම තිබුණා. ඒ කාලේ මට හරිහමං රස්සාවක් තිබුණේ නෑ. සුරංගි මට බල කළා, රස්සාවක් හොයගන්ඩ, නැත්නම් එයාගේ දෙමව්පියෝ අපේ සම්බන්ධයට, කොහෙත්ම කැමති වෙන එකක් නෑ කියලා. රස්සාවක් ඕන වෙලාවක හොයගන්ඩ පුළුවන් කියලා, මම බොරු කයිවාරු ගැහුවා. ඒත්, අන්තිම මොහොත වෙනකල්ම, මට රස්සාවක් හෙයාගන්ඩ බැරි වුණා.

දැන් සුරංගි කසාද බැඳලා, අවුරුදු හතරක් වෙනවා. පුංචි දුවෙකුත් ඉන්නවා. මහත්තයා ලොකූ ව්‍යාපාරිකයෙක්. සුරංගිට වඩා අවුරුදු දොළහක් විතර වැඩිමහල්, ගුණයහපත්, මහත්තයෙක්. ගෙවල් දොරවල්, යාන වාහන, සල්ලිබාගේ ඇති තරම් තිබුණත්, සුරංගි හොයන්නේම ආදරයක්. ඒක තියන්නේ මාලඟ විතරමයි ලු. එයා එහෙමයි කියන්නේ. අඩුමගානේ, සතියකට තුන්පාරක්වත් මට දුරකථනයෙන් කතාකරනවා. හැමදේම තිබුණත්, එයාගේ ජීවිතේ මොකද්දෝ අඩුවත් දැනෙනවා ලු. ඒ මම නැති අඩුව ලු. වෙලාවකට අඬනවා, එයාව එක්කරගෙන කොහේ හරි යන්ඩ කියනවා. කොහේ හරි ගිහින්, පුළුවන් විදිහට ජීවත් වෙමු කියනවා.
-------------------------------------

ඔය කියන විදිහට, කොහේ හරි ගිහ්ල්ලා, පුළුවන් විදිහට ජීවත්වෙමු කියන එක, හිතන තරම් සරළ වැඩක් නෙවෙයි. ජීවිතේ කොච්චර සංකරද කියන එක, මම හොඳින්ම දන්නවා. සුරංගි හරීම අහින්සකයි. ඒ වගේම ටිකක් විතර මෝඩයි. ජීවිතේ ගැන කිසීම තේරුමක් නෑ. ජීවත් වෙනවා කියන එක, වෙනම කලාවක්. සමහරුන්ට ජීවත් වෙන විදිහ නෙවෙයි වැදගත් වෙන්නේ, ජීවත් වෙන එක. ඒත් සමරුන්ට, ජීවත් වෙන විදිහයි වැදගත් වෙන්නේ.

හොඳ ගෙයක් හදාගෙන, ලස්සන වාහනයක් පැදගනෙ, සල්ලි ටිකක් ඉතුරු කරගෙන, ජීවත් වෙන්ඩ මම හරීම ආසයි. යටි හිත්න්, මටත් වැදත් වෙලා තියන්නේ, ජීවත් වෙන විදිහ. මම දකින හීනයට, ලේසියෙන්ම ළංවෙන්ඩ පුළුවන්, ලඟම පාර තමයි සුරංගි. ජීවත් වෙනවා කියන්නේ, නොමැරි ඉන්න එකම නෙවෙයි, එතනින් එහාට ගිය, අමුතු හැඟීමක්. ඉතින්, මම සුරංගිව පාවිච්චි කළා. උපරිමයෙන්ම චාවිච්චි කළා.

ඕනෑම තරාතිරමක ගැහැණියෙකුට, පහසුවෙන්ම අළෙවි කළ හැකි එකම කාරණාව, සිහිණ. මමත් සුරංගිට ලස්සන සිහිණ අළෙවි කලා. ඒ සිහිණ වලට යන්ඩ, අපිට තියන එකම බාදාව, එයාගේ මහත්තයා. කාටවත් සැකයක් ඇති නොවෙන්ඩ, ඒ බාදාව ඉවත් කරන්ඩ පුළුවන් එකම කෙනා, සුරංගි විතරමයි.
----------------------------------

ගහක් ගලක් වාගේ හිටපු සුරංගිගේ මහත්තයා, එකපාරම හෘධ ආබාධයකින් මිය ගියා. ආරන්චිය ලැබුණු ගමන් මමත්, ටයි පොල්ල අටවගෙන, බයික් එකේ නැගලා, වෘත්තීය මට්ටමින්, සේවාදායකයාගේ නිවසට ගොඩ වුනා. දිකනට උපරිම මිලිග්‍රෑම් දහයක් පමණක්, වෛද්‍යය උපදෙස් මත ලබා ගත යුතු, අධි රුධිර පීඩනය සඳහා, ප්‍රථිකාර පිණිස ලබා දෙන, Amlodipine නමින් සඳහන් වූ, ඖෂධ දියර කුප්පිය; සුරංගි මගේ අතට දීලා, එයා මහා පව් කාරියක් කියාගෙන, මාව බදාගෙන හොඳටෝම ඇඬුවා.

මාස තුනකට පසු; රුපියල් ලක්ෂ අසුවක චෙක්පතක් සුරංගිගේ නමට ලියැවුණා. මම ටයි පොල්ල අටවගෙන, බයිසිකලේ නැගලා, කාර්යාලීය මට්ටමින්, යලිත් සේවාදායකයාගේ නිවසට ගොඩ වුනා. එදානම් සුරංගි කට පුරාම හිනා වෙලා, බොහොම සතුටින් හිටියේ. සුරංගි හදලා දීපු තේ එකත්, මම රස කර කර බිව්වා.

අපිට තිබුණු සියළුම බාදාවල්, දැන් ඉවත් වෙලා ඉවරයි. තව ටික දවසකින්, සුරංගියි, මමයි, පුංචි දුවයි, පිට රට පදිංචියට පිටත් වෙන්ඩ, තීරණය කළා. ඒත්, මගේ හිතට මොකද්දෝ ලොකූ අඩුවක් දැනේනඩ පටන් ගත්තා. බාදාවක් නැති තැන, ආදරයක් නෑ වගේ මට දැණුනා. ආදරය පවතින්නේ, බාදාවක් තියන තුරු පමණයි කියලා හිතුණා.

සුරංගිගේ නළල ඉඹලා, මම ගෙදරින් පිටත් වුණා. හංදිය පහු කරලා, බයිසිකලේ මහ පාරට දැම්මා. ඔළුව කැරකෙනවා, ඇස් අඳුරු වෙනවා, පපුවත් හිර වෙනවා. සුරංගි අන්තිමටම, මට දීපු තේ කෝප්පය, අමුතුම එකක් කියලා හිතුණා.


Nissanka Rajapaksa

unread,
Dec 24, 2023, 6:08:49 PM12/24/23
to INDRAKA group
56
ජීවිතයක් වෙනස් කළ පූසා

- මංජුල සේනාරත්න 

පූසන් ව මට පෙන්න බැහැ . 
පූසා කියන්නේ කිසිම වැඩකට නැති සතෙක් කියලා මට හිතෙනවා. හැම තිස්සෙම ඉන්නේ something is going to happen කියන සස්පෙන්ස් කමක් මූණේ තියාගෙන. මම දන්න දවසේ ඉඳන් පූසන්ට කරදර, හිංසා කරපු කෙනෙක්. ඒවා ගැන මම සතුටු වෙන්නේ නැහැ තමයි. ඒත් මම මේ සතාට කැමති නැහැ.

දවසක් පොඩි කාලේ මම කොස් ඇට වගයක් ලිපට දැම්මා. ඒවා කරවෙලා දිලිසෙනකොට අර ගන්න විදිහක් තිබ්බේ නැහැ. ඒ දවස් වල අපේ ගෙදර හිටියා "ඈයියා" කියලා පූසෙක්. ඈයියා කිව්වේ ඌ මාර අපිරිසිදු හින්දා. ඌ ඩිප්‍රෙෂන් හැදිලා කොයි වෙලාවේ හරි SUICIDE කර ගන්න අහල පහළ ලිඳක් හොයමින් හිටපු nothing to lose පූසෙක්. මම ඌව අල්ලගෙන ඇවිත් උගේ අත අරගෙන ලිපේ තිබ්බ කොස් ඇට ටික ගන්න හැදුවා.
"මක් කොරනවද ළමයෝ ..?"කියලා අම්මා ඇහුවා.
"බළලුන් ලවා කොස් ඇට බාවනවා... " මම කිව්වා.

තවත් වතාවක මම පූස් පැටියෙක්ව ගෑස් පුරවපු බැලුමක ගැට ගහලා උඩ යැව්වා. පස්සේ මට දුකත් හිතුනා. ඌ කොයි ලෝකේ ගියාද දන්නේ නැහැ. සමහර විට ඌ තාම අහසේ සැරි සරනවා ඇති.

ඒ දවස් වල මගේ ලොකු ම වැඩේ වුණේ කොහේ හරි ඉන්න පූසෙක් අල්ලාගෙන ඇවිත් උගේ රැවුල කපන එක. ඒ ලොකු මයිල් ගස් කැපුවාම උගේ සමබරතාවය නැති වෙනවා. එහෙම කපන පූසෝ දොර අහුමුලු වල වදින කොට ඒක බලාගෙන ඉඳලා මම මාර ආතල් එකක් ගත්තා.
 
කොහොම හරි මෙච්චර පූසන්ට කැත වැඩ කරපු  මගේ ජීවිතය පූසෙක් නිසා වෙනස්  වෙයි කියලා මම හිතුවේ නැහැ. ඒක වුණේ මෙහෙමයි.    

 
දවසක් මම වැඩට ගිහින් ඇවිත් අම්මා හදපු මෙලෝ රහක් නැති හැලපයක් කකා ඉන්න කොට කොහෙද යන පූසෙක් ඇවිත්  ඤෑව් ගෑවා . අපේ අම්මා මේ වගේ රහක් නැති කෑම හදන්න ඉගෙන ගත්තේ කොහෙන්ද කියන එක මට හරි ප්‍රශ්නයක්. ඒ හැලපේ කැන්ද කොළයෙන් ගලවා ගන්න බැරුව අන්තිමේදී මම කැන්ද කොළයත් එක්කම කන කොට තමයි මේ පූසා ආවේ.  මෙලෝ රහක් නැති වුණත් අම්මගේ හැලපේ  පූසට දෙන්න මට හිතුනේ නැහැ. මොකක්ද හේතුවක් හින්දා ඌට ගහලා එලවන්න හිතුනෙත් නැහැ . කාලෙකින් පූසෙකුට අසමජ්ජාති වැඩක් කෙරුවේ නැති නිසා මට හිතුනා මේ කොහෙවත් යන පූසව මගේ අනාගත animal violence වැඩකට යොදා ගන්න. අනෙක ඒ ආපු පූසත් whatever මූණක් තිබ්බ I don't care සතෙක්. අර පෙට් සෙමෙට්‍රි පොතේ  වලෙන් නැගිටලා එන පූසා වගේ පෙනුමක් තමයි ඌට තිබ්බේ.

ඒ සති අන්තයේ තමයි අපේ පොරවල් සෆාරි එකක් යන්න සෙට් උනේ.
"අඩෝ .. අපි හැමදාම හිස් අතින් ගිහින් සත්තු බලලා එන්නේ. මේ පාර මොනවා හරි අරං ගිහින් දෙමු. නිකං තෑග්ගක් වගේ දෙයක් .." අකිල ගොනා කිව්වා.
"සත්තු තෑගි ගන්නේ නැහැ බං. එහෙනම් අපි සල්ලි දීලා එමු ටවුමට ගිහින් කැමති දෙයක් ගන්න කියලා..."
"නැහැ බං .. මං කිව්වේ අපි කෑමක් ගිහින් දෙමු. "
"කෑමක් කිව්වේ...?"
"අපි මස් කිලෝ හය හතක් අරන් ගිහින් කැලේට විසි කරළා එමු. අඩුම ගානේ උන් කාලා අපිට පිං දෙයිනේ ...." කියලා අකිල ගොනා කිව්ව කතාව මේ පූසව දකිද්දී මගේ මතකයට ආව. අඩේ මගේ කකුල් දෙක ඉස්සරහා ඉන්න අහිංසක පූසව යාල කැලේ දිවියෙකුට දන් දීමේ අසික්කිත අදහස මගේ ඔලුවට ආවා.

අපේ ගෙදර ඉන්නවා රස ආහර කවලා, රන් කූඩුවේ දමලා ඇති කරපු මාල ගිරවෙක්. අරගලය කාලේ ගෑස් බෝතලයක් ගන්න අම්මා  උගේ මාලේ උගස් කරපු දවසේ ඉඳන් ඒ ගිරවත් ඩිප්‍රෙෂන්  වැටිලා Nothing to lose තත්වයට පත් වෙලා හිටියේ. සෆාරි  එක යන දවසේ උදේ පාන්දර මම උගේ කූඩුවේ දොර ඇරලා   පලයන් කිව්වා. ඌ නිකං Are you serious...?  කියනවා වගේ මං දිහා බලාගෙන හිටියා. "ඔව් බං .. අම්මා දකින්න කළින් පළයන්.." මම කිව්වා. ගිරවා වැටි වැටී ඉගිලිලා ගියාට පස්සේ ඒ කූඩුවට මම අර  පූසව දාගත්තා.
"යකෝ කැත වැඩ කරන්න එපා බං. උඹට යන්න අපායක් නැති වෙනවා. " යනකන්ම යාලුවෝ කිව්වා.

යාල කැලේ ඇතුලේ තැනකදී මම පූසව කූඩුවෙන් එළියට අරගෙන එළියට විසි කෙරුවා. පොරත් නිකං John Cena  රෙස්ලින් මැච් එකකට එනවා වගේ  එළි මහනේ ඇවිදින්න ගත්තා. මම මොබයිල් එක අරන් ෆිල්ම් කරන්න ගත්තා.
ඒ වෙලාවේම කොහෙද ඉඳන් දිවියෝ දෙන්නෙක් ආවේ නැතෑ. උන් පූසාගේ ඇගට  පැන්න. පූසා වෙට්ටුවක් දාලා බේරුණා . දිවියෝ මාර කට්ටක් කනවා පූසව අල්ල ගන්න . පූසා සත පහකට ගණන් ගන්නේ නැතුව බොහොම ලෙහෙසියෙන් උන්ව මග හරිනවා .  දැන් දිවියෝ අන්දමන්ද වෙලා. පූසා නිකං උන් එක්ක come and get me කියන පාට් එකෙන් වැඩ දානවා. මේ සෙල්ලම විනාඩි දහයක් විතර තිබ්බා. අන්තිමේදී දිවියෝ දෙන්නා හති වැටිලා කැලේට යන්න ගියා. පූසා ඇවිත් මෙන්න අපේ ජීප් එකට නැග්ගා.
 
ගෙදර එනකන්ම කිසිම කෙනෙක් කිසිම දෙයක් කතා කෙරුවේ නැහැ. මම පූසව කූඩුවේ දාන්නේ නැතුව ඔහේ ඉන්න ඇරියා. මගදී බැහැලා බේකරියකින් කිඹුලෙක් අරං දුන්නට  ඌ කෑවේ නැහැ. ඊට පස්සේ "ගෙදර යන ගමන් " Food City එකෙන් cat food එකක් අරං දීලා රෙඩ් බුල් එකක් බොන්න දුන්නා.
 
ගෙදර ඇවිත් වෙච්ච වැඩේ ගැන මම ටිකක් කල්පනා කෙරුවා.  වැඩකට නැති පූසෙක් වුණත් මේ සතාගෙන් වැඩක් ගන්න පුළුවන් නේද කියලා මට හිතුනා. මොබයිල් එකේ තියන වීඩියෝ එක අරගෙන එඩිට් කරළා මගේ යූ ටියුබ් චැනල් එකට දාන්න මට හිතුනා.
"මේ මගේ දයාබර පූසා. උගේ නම තමයි බයි ද වේ.  . මම මූව පුරුදු කරළා තියනවා වන සතුන්ගෙන් බේරෙන විදිහ. මේ තියෙන්නේ අද දවල් යාල සෆාරි එකකදී මගේ  පූසාගේ කෙරුවාව . ..." මෙහෙම කියලා මම වීඩියෝ එක  අප්ලෝඩ්  කරළා රෑ එකොළහට විතර නිදා ගත්තා. පහුවෙනිදා එළි වෙනකොට මගේ පැවැත්ම සදහටම වෙනස් වෙලා තිබුණා  .
උදේ හතට ඇහැරිලා බලන කොට ඒ වීඩියෝ එක දොළොස් දහස් වාරයක් SHARE වෙලා ලක්ෂ ගානක් දෙනා බලලා තිබුණා . බලා ඉද්දී VIEWS ඉහළ යනවා. පූසා කාමරේ ළඟ මීයෙක්ව බ්‍රෙක්ෆස්ට් එකට ගනිමින් හිටියා.
"යකෝ ජනක .. අර උඹේ වීඩියෝ එක ගැන මුළු රටම කතා කරනවා. ඒක අරගෙන උදේ ටෙලිවිෂන් එකෙත් පෙන්නුවා. ඔය පූසව හංග පං . .." අකිල ගොනා කියනවා මට ඇහුනේ නින්දෙන් වගේ. එදා දවල් වෙන කොට  "නහින TV" එකෙන් ලොකු වෑන් එකක් ඇවිත් අපේ ගේ ළඟ නැවැත්තුවා. අකිල ගොනා තමයි මගේ මැනේජර් වගේ පෙනී හිටියේ.
"අපිට චැනල්ස් කීපයකින්ම ආරාධනා කෙරුවා. ඒත් ඔයාලට exclusive ඉන්ටර්වීව් එකක් දෙන්නම්. හැබැයි ඒකට මිලක් තියනවා.. " අකිලයා  කිව්වා.
"කීයද..?"
"රුපියල් පනස් දාහක් ඕනා.."
"කැමතියි.. අපිට පුලුවන්ද මේ බයි ද වේ පූසා එක්ක යාල ගිහින් ආයේ වතාවක් ප්‍රදර්ශනයක් දාන්න .."
"පුළුවන්.. මිලක් තියනවා.. "
"කීයද..?"
"වන් මිලියන්.."
"හරි..."
 
දෙවැනි වතාවේ "බයි ද වේ " එක්ක යාල යනකොට තවත් සීයක් විතර කට්ටිය ආව. කැමරා හය හතක් තිබුණා . ඒ විතරක් නෙමෙයි BBC Wildlife සඟරාවෙන් මාත් එක්ක කතා කෙරුවා. මම හිටියේ මාර බයේ. බැරිවෙලා පූසා දිවියන්ට අහු වුනොත් මාර නෝන්ඩිය. අම්ම බෝධි පූජා තිබ්බා. සෙත් කවි කිව්වා. හැලප සීයක් දෙනවා කියලා බාරයක් වුණා .
"ඇන්ටි හැලප නැතුව වෙන මොනවා හරි බාර වෙන්න. .." මගේ මැනේජර් අකිල කිව්වා.
 
දෙවන පාරත් මගේ රත්තරන් පූසා මාව බේර ගත්තා. දිවියෝ එක්ක ඌ විනාඩි පහළොවක් විතර වෙට්ටු දැම්මා. මුළු සෙට් එකම හොල්මන් වෙලා. අන්තිමට දිවියෝ හති වැටුනට පස්සේ ඌ ඇවිත් මගේ ඔඩොක්කුවට නැග්ගා. සීයක් විතර දෙනා ගේ අප්පුඩි හඬින් යාල කැලේ ගස්වල නිදාගෙන හිටපු වවුලෝ කළබල වුණා  .
"කොහොම ද ඔබ මේ පූසව මෙහෙම පුරුදු කෙරුවේ ..? " වාර්තා කරුවෝ මගෙන් ඇහුවා .. මම ඉතින් හදා ගත්ත බයිලා ගොන්නක් උන් ඉස්සරහා අත හැරලා හිනා උනා.
 
වීඩියෝ වේ VIEWS ගාන මිලියන තුන පැනලා යද්දී YOU TUBE එකෙන් මට බරපතළ මුදලක් ලැබුණා. මම රස්සාවෙන් අස් වුණා. පූසටම කියලා වෙනම කාමරයක් වෙන් කරළා දුන්නා. යාලුවෝ දෙන්නෙක් ගෙදර මුරට දැම්ම. මොකද ගමේ උන් ඊර්සියාව උහුල ගන්න බැරුව බෝම්බයක් ගහයි කියලා අකිල කිව්ව හින්දා.
පූසව බලන්න දහස් ගණනින් සෙනග ආවා. අපි එයාලගෙන් සල්ලි ගත්තා. අම්මා හැමෝටම හැලප හදලා දුන්නා. බැරිම තැන ඒ වැඩේ කේටරින් සර්විස් එකකට භාර දුන්නා.
සමහර වෙලාවට තමන්ගේ ව්‍යාපාර කටයුතු සාර්ථක වෙන්න කියලා මුදලාලිලා ඇවිත් බයි ද වේ ඉස්සරහා වැඳ වැටුනා. රත්තරන් බඩු පූජා කෙරුවා. සල්ලි මිටි ගණන් දුන්නා.  ඒ වෙලාවට පූසා හිටියේ අදහා ගන්න බැරි මූණෙන් .
 
දියබරියෙක් වත් මෙච්චර කල් මං දිහා බැලුවේ නැහැ. ඒත් "බයි ද වේ" නිසා විවාහ යෝජනා බරට එන්න පටන් ගත්තා.
"ඇත්තටම මම විවාහයක් ගැන තාම හිතලා නැහැ. මුළින්ම බයි ද වේ එක්ක වර්ල්ඩ් ටුවර් එකක් යන්න මම බලාපොරොත්තු වෙනවා. තව අවුරුදු දෙක තුනකින් විවාහය ගැන හිතනවා. ... " මම රූපවාහිනියට කිව්වා.
 
 
බයි ද වේ ගැන සමාජ ජාලා වල ලොකුවට කතා වුණා. මිම්ස් හැදුනා. සමහර උන් කවි ලියන්න, කෙටි කතා ලියන්න පටන් ගත්තා. මගේ පූසා මුළු ලංකාවේම ජනප්‍රිය චරිතයක් වෙලා තිබුණා.
 
සමහර වෙලාවට මම බයි ද වේ දිහා බලාගෙන කල්පනා කෙරුවා. මේ වෙන කොට හය පාරක් මම යාල ගිහින් ඌව දිවියෝ අස්සට විසි කරළා තියනවා. ඒ හැම පාරම ඌ දිවියන්ට ආතල් දුන්න. දීලා ඇවිත් මගේ ඔඩොක්කුවට නැග්ගා. කොහෙවත් ඉඳලා ඇවිත් මට සල්ලි හම්බ කරළා දීලා, මට ප්‍රසිද්ධිය අරං දුන්න මේ පූසා ඇත්තටම සතෙක් වෙන්න බැහැ. පෙර ආත්මෙක මගේම හිතවතෙක්, නෑදෑයෙක් වෙන්න ඕනා. ඇයි මට මෙහෙම වාසනාවක් පෑදුනේ? මම දන්න දවසේ ඉඳලම පූසන්ට හිංසා කරපු මිනිහෙක්. මම පූසෝ කී දෙනෙක්ව උඩ දාලා බිම වැටෙන කං බලා ඉඳලා තියනවද? කී දෙනෙකුගේ නැට්ට ගිනි තියලා තියනවද? අන්තිමට මගේ වාසනාව පෑදුනේ කොහෙවත් ඉඳන් ආපු පූසෙක් හින්දා.

මම බයි ද වේ ළඟට ගිහින් ඌව අතට ගත්තා. උගේ ඔලුව අතගෑවා .
"සොරි මචං ... මම උඹලගේ ජාතියේ උන්ට හුඟක් කරදර කරපු මිනිහෙක් . සමාවෙයන් . ..." මම කිව්වා.
 
කොහොම වුණත් මේ වැඩේ හැමදාම කරන්න බැරි බව මම දැනගෙන හිටියා. දැනටමත් සත්ව හිංසාවට විරුද්ධව පෙනී ඉන්න සංවිධාන මගේ වැඩේට එරෙහිව ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. සමහර උන් කොළඹ උසාවියේ මට විරුද්ධව නඩු පවරලත් තියනවා. ඒ වගේම කොයි වෙලාවක හරි දිවියෝ හොඳට ඔර්ගනයිස් වෙලා මගේ පූසාව කෑලි වලට ඉරලා දාන්න පුළුවන්. බයි ද වේ කියන්නේ ජේසන් ස්ටතැම් නෙමෙයි. මේ හැබෑ ලෝකේ. දැනටමත් මේ සිද්ධ වෙන්නේ සැබෑ ලෝකේ වෙන්න බැරි දේවල්. මේ සිතුවිල්ල ඔලුවට ආපු වෙලාවේ තමයි මට හිතුනේ පුළුවන් තරම් ඉක්මනට මගේ පූසාව බිල්ලට දීලා සල්ලි හම්බ කරන එක නවත්තන්න ඕනා කියලා.
 
එක දවසක් කළු පාට දඩ සයිස් කාර් දෙකක් ඇවිත් අපේ ගේ ඉස්සරහා නතර කෙරුවා. ඒ දඩ කාර් දෙකෙන් එළියට බැස්සේ පුංචිම පුංචි චීන්නු පස් දෙනෙක්. උන් කොච්චර පුංචිද කියනවා නම් වාහනේ ටයර් එකට වැඩිය ටිකයි උස.
 
zǎo shàng hǎo..nǐ hǎo ma  ..? එකෙක් කිව්වා .
"මොකක්..? කියන දෙයක් සිංහලෙන් කියන්න මල්ලී .. තාම චීන බාසාව අපේ ඉස්කෝල වල උගන්නන්නේ නැහැ..."
 
චීන්නු පස් දෙනා ගෙදට්ට ඇවිත් ඉඳ ගත්තා. අපේ අම්මා හැලප එක්ක තේ හැදුවා. උන් හැලපේ කාලා කැන්ද කොළෙන් කට පිහදා ගත්තා.
"අපි ආවේ ජනක මහත්මයා වැජගත් කතා බහකට ... මේ ඉන්නේ චී චින් කැච ගූ කනා මහත්මයා . එයා වුහාන් නගරයේ මිලියනර් කෙනෙක්. එයා ජැක්කා ඔයාගේ බයි ජ  වේ පූසා ගැන. එයාගේ ටීම් එක ඔයාගේ පූසා ගැන ස්ටඩි කෙරුවා. මාස හයක් තිස්සේ. එයාලා ඔයාගේ පූසා ගැන ලොකු වාර්තා ලියලා තියනවා."
"ඉතිං මොකක්ද වෙන්න ඕනා....?"
"මේ චී චින් කැච ගූ කනා  මහත්තයට ඕනා ඔයාගේ පූසා සල්ලි වලට ගන්න. ඔයා කියන ඕනෑම මිලක් ගෙවන්න එයා සූජානම් ..
"මගේ පූසාව සල්ලි වලට ගන්න .. ඒ මොකටද...?"
"ජනක මහත්මයා ..ඔබේ පූසා වන් ඇන්ඩ් ඔන්ලි පූසෙක්. හොජ  බුද්ධිමත් පූසෙක්. මී පූසගෙන් අනාගතේ බළල් සංහතිය වෙනුවෙන් වැජක් ගන්න පුළුවන්. ඒ අත්හදා බැලීම් කටයුතු කරන්නේ චී චින් කැච ගූ කනා මහත්තයා ගේ රසායනාගාර වල . .."
"මට ඔයාලව විශ්වාස නැහැ . චීන්නු කියන්නේ පූසන්ව උයලා කන ජාතියක්... "
"චී.. අපි එහෙම නැහැ. අපේ අලුත් පරම්පරාව සත්තු කන්නේ නැහැ. අනෙක පොඩ්ඩක් හිතලා බලන්න. අපි ඔයාගේ අම්මගේ හැලපෙත් කෑවනේ.. ඒ විතරක් නෙමෙයි. බලන්න මේ පූසා ටික ජවසකින් මැරිලා යනවා. ඌව හැමජාම මේ ගේ ඇතුලේ තියාගෙන ඉන්න බැහැ. එජාට ඔයා මොකජ කරන්නේ.. නරක ජ ජැන්මම පූසව අපිට විකුණුවා නම් ..?"
"ඔයාලා මට කීයක් දෙනවද...?"
"කීයක් ඕනද...?"
 
අපි ජීවත් වෙන්නේ  බල්ලෝ මරලා විතරක් නෙමෙයි, පූසෝ විකුණලා හරි සල්ලි හොයන සමාජෙක. මේ සමාජේ වැදගත් වෙන්නේ සල්ලි. සල්ලි හම්බ කරන විදිහ නෙමෙයි . ඒත් මම කරපු වැඩේ බරපතළකම ඒ මොහොතේ මට තේරුණේ නැහැ .
 
 එදා හවස අකිල ගොනා ගෙදර ආවේ බයි ද වේ එක්ක යන්න හිටපු ලෝක සවාරියේ වැඩ ටික සූදානම් කරගෙන. පොර ඇවිල්ලා වැඩේ විස්තර කරන්න ගත්තාම මම වෙච්ච දේ කිව්වා.
"බයි ද වේ නැහැ. ගියා. මම ඌව විකිණුවා ..."
"විකිණුවා ..! කාටද ..? කීයකටද..?"
"චීනෙකුට .. ලොකු ගානක් හම්බ වුණා .. පරම්පරා දෙකකට ඒ ගාන ඇති බං. අපි දෙන්නට පට්ට ලයිෆ් එකක් ගෙවන්න පුළුවන්.." අකිලයා ටිකක් වෙලා මං දිහා බලාගෙන හිටියා. උගේ ඇස් දෙකෙන් කඳුළු එනවා දැක්කාම මට පුදුම හිතුනා.
"උඹ උඹේ අම්මව විකුණන්නේ කීයකටද...?"
"ඈහ්...?"
"සල්ලි හම්බ වෙනවා නම් උඹ අම්මවත් විකුණනවා නේද..? ඒ කොහෙවත් ගිය පූසා උඹව කෝටිපතියෙක් කෙරුවා. හරි නම් උඹ ඌට  මල් තියල වදින්න  ඕනෑ .. උඹ වගේ පාහරයෙක් නැහැ ජනක...."
 
මෙහෙම කියපු මගේ මිත්‍රයා යන්න ගියා. ඌ කවදාවත් ආවේ නැහැ. ඌ කොහෙද ගිහින්. ගිය තැනක් ගෙදර අයවත් දන්නේ නැහැ.
 
බයි ද වේ මේ මොහොතේ කොහේ ඉන්නවද දන්නේ නැහැ. දැන් ඌ ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. හැම දෙයක් ගැනම ලොකුවට කතා වෙන්නේ ටික දවසයි නේද කියලා මම තේරුම් ගත්තා.
 
අපේ ගෙදර දැන් හරි පාළුයි. අම්මත් දැන් ඉස්සර වගේ හැලප හදන්නේ නැහැ. බලාගත්ත අත බලාගෙන ඉන්නවා. පූසා නිසා හම්බ කර ගත්ත සල්ලි වලින් මම ගේ ලොකු කෙරුවා. තට්ටු දෙකකට නැග්ගුව. ඒත් සමහර කාමර වලට යන්නෙත් නැහැ. ඒවායේ ලයිට් පත්තු නොකරම පිච්චිලා යනවා. සල්ලි තිබ්බට ඒවායින් කරන්න ඕන දේ මම දැනගෙන හිටියේ නැහැ. බලාගත්ත අත මම බලාගෙන ඉන්නකොට අම්මා කිව්වා ළමයෝ ගිහින් බෙහෙත් ටිකක් අර ගනින් කියලා. ඩොක්ටර් සුසිත හම්බ වෙන්න ගියේ ඊට පස්සේ.
 
පොර මගේ කතාව ඇහුවට පස්සේ බේතක් දෙනවා වෙනුවට සිංදුවක් දැම්මා .
 
you only need the light when it's burning low
Only miss the sun when it starts to snow
Only know you love her when you let her go
 
Only know you've been high when you're feeling low
Only hate the road when you're missing home
Only know you love her when you let her go
 
මට හරියට තේරුම තේරුණේ නැති බව දැන ගත්ත ඩොක්ටර් සුසිත සිංහලෙන් මෙහෙම කිව්වා .
 
"ඕකම තමයි සුනිල් එදිරිසිංහ වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ මනරම්. කියන සින්දුවෙන් කියන්නේ.. නිධානය ළඟ තියන බව අපි දන්නේ නැහැ. අපිට අගයක් නැහැ. අපි ගණන් ගන්නේ නැහැ. ඔයාගේ කතාවේදී ඔයා කරළා තියෙන්නේ නිධානය විකුණපු එක. Khuda Jaane .. දෙයියෝ තමයි දන්නේ. මේ වගේ දේවල් වලින් හිතට එන අසහනය නවත්ත ගන්න බේත් නැහැ. ඒත් මම ඔයාගේ සිත හැදෙන්න බේතක් දෙන්නම් ."
 
වාසනාව පා අසළට පැමිණ ජීවිතය වෙලා ගත් විට එය රැක ගන්න ඕනෑ ය කියන දේ මම තේරුම් ගත්තා. මගේ ජීවිතයට වාසනාව ආවේ වල් පූසෙක් විදිහට. ඌ කිසිම දෙයක් මගෙන් ඉල්ලන්නේ නැතුව, මගේ පාහර කම අඳුරගෙන ද කොහෙද මගේ ජීවිතය වෙනස් කෙරුවා. සතෙක් හරි කමක් නැහැ අපේ ජීවිත වලට එළියක්, සතුටක් ගේනවා නම් ඒ සතාව අපි රැක බලා ගත යුතුයි.  මම එහෙම කෙරුවේ නැහැ.
 
දැන් බයි ද වේ කොහේ ඉන්නවද දන්නේ නැහැ. ඌ මගෙන් වෙන් වෙලා යන වෙලාවේ මූණේ තිබ්බේ "අඩෝ වයි බං ..?" කියනවා වගේ පෙනුමක්. සමහර විට අර චීනා මගේ පූසාව ඉස්ටුවක් හදලා කාලත් ඇති.
 
"අම්මේ හැලපයක් හදන්න බැරිද...?" මම ගෙදර ඇවිත් අම්මට කිව්වා.
"උඹ කවදා ඉඳන්ද මගේ හැලප වලට රහ වැටුණේ ..?" අම්මා ඇහුවා. ඇත්තටම අම්මාගේ ඒ මෙලෝ රහක් නැති හැලපේත් නාඳුනන රහක් තිබුණා නේද කියලා ඒ වෙලාවේ මට හිතුණා.

Nissanka Rajapaksa

unread,
Dec 25, 2023, 5:06:51 PM12/25/23
to INDRAKA group
57
කසළ සෝදකයාගේ විවාහය....

- මංජුල සේනාරත්න 

"මිනිහව  මැව්ව එකා මොකා වුණත් ඌ අපිට 'කන් දෙක' දුන්නේ අනාගතය ගැන හිතලා කියලා උඹට හිතෙන්නේ නැද්ද...?"
මගේ අතිජාත මිත්‍රයා අකිල ඇසුවේය. ඔය වැනි අගක් මුලක් නැති ප්‍රශ්න  ඇසීමට ඔහු රුසියෙක් බව දැන් බොහෝ දෙනා දනිති. මම  ඔහුට "අකිල ගොනා" යැයි ආදරයට අමතමි. අපි දෙන්නා වෙන් කළ නොහැකි බව අනෙක් මිතුරෝ කියති. අපේ බිරින්දෑ වරු පවසන්නේ අපි ඔවුන්ට නොකියා විවාහ වී ඇති බවයි. 
කොවිඩ් වසංගතය නිමවී මාසයකට  අධික කාලයක් ගතවී තිබේ. වසර එක හමාරක් පමණ  කාලයක් පුරා  පුරුදු ජීවිතය අහිමිව මරණ බියෙන් කාලය ගෙවූ  අපි අගෝස්තු මාසයේ මුල් සතියේ සිකුරාදා හමු වූයේ පුරුදු පරිදි ලොකු බියර් වීදුරුවක් වෙනුවෙනි. සතියක පටන් ප්‍රංශයේ කොවිඩ් නිසා මිය ගිය අයෙක් නොවිණ. සතියක් ඇතුළත ලොව පුරාම මිය ගොස් ඇත්තේ හය දෙනෙකු පමණි. නගරය යළි අවදි වී තිබේ. නිදහස් සුළඟ හමයි. ඒ සුළඟ වැනිලා සුවඳක් රැගෙන එන්නේ රූමතියන්ගේ ඉහළ යන කොට සාය සිප ගත් නිසාදැයි නොදැන සිටියත් අපේ සිත් සතුටින් පිරී ඉතිර ගොස් තිබුණි. වසංගතයකින් පසු දිවි බේරා ගැනීමට තරම් වාසනාවන්තයින් වූ අපි  ඒ වෙනුවෙන් සව්දිය පුරන්නට වග බලා ගතිමු. ආ ගිය වල්පල් කතා කරමින් සිටියාට පසුව ය අකිලයා ඉහත ප්‍රශ්නය මගේ විමසුවේ. 
"ඔන්න් බලපං කන් දෙක තිබ්බේ නැත්නම් කොහොමද  කොවිඩ් කාලේ මාස්ක් එක පටලවා ගන්නේ...? දෙයියෝ දැනගෙන හිටියා කොව්ඩ් එනවය මාස්ක් දාන්න වෙනවය කියලා.."
"හ්ම්ම් " කීවා හැර වෙන කියන්නට දෙයක් මට තිබුණේ නැත. තනියම සිනහ වෙන්නට පටන් ගනිද්දී ඔහුගේ ජංගම දුරකතනය නාද වූ අතර එදෙස බලද්දී මුහුණ වෙනස් විය. ඇමතුම පැමිණෙන්නේ අකිලගේ  බිරිඳ ගයානි වෙතින් බව පැහැදිළිය.
"හෙලෝ... ඔව්.. හා. හරි.. හරි... හරි... ඔව්. .. හරි.. ඇත්තට..? හ්ම්ම්.. හරි.. හරි... හා.. හ්ම්ම්.. බලමු.. හරි... බායි..." මෙය වනාහි තම බිරිඳ ගේ දීර්ඝ පැහැදිළි කිරීම් වලින් බේරෙන්නට තමා භාවිතා කරන වාග් මාලාව බව අකිල මට කියා තිබේ. එහෙත් එදා ඔහු සිටියේ තරමක අවුලක් සිතේ දරාගෙන යි. මගේ මිතුරා මෙසේ මූසල මුහුණක් දික් කරගෙන සිටිනු දකින්නට කැමැත්තක් මගේ නැත.
"මොකක්ද අවුල...?" මම ඇසුවෙමි.
"අපේ පුතා හරින්.. මිනිහා අලුත් වාහනයක් ගන්න යනවා. BMW එකක්. "
"ඉතිං...?" 
"යුරෝ තුන්දාහක් මදිලු.. ගයානි කියනවා මට දෙන්නලු.."
"ඉතිං මොකෝ කේස් එක..?"
"කේස් එක බං යුරෝ තුන් දාහක් මගේ ළඟ නැති එක. තියනවා. ඒත් දැන් වැකේෂන් යන්න එපෑය . තව දෙයක්..."
"ඒ මොකක්ද..?"
"මට පෙන්නේ ලොක්කා කෙල්ලෙක් හොයාගෙන..බදින අදහසක් තියනවලු.."
"මොකක් ... තාම 23 නේ බං. අනෙක උඹ දන්නවද කව්ද කෙල්ල කියලා. ප්‍රංශ කෙල්ලෙක්ද දන්නේ නැහැ... මළ කෙළියයි .."
"දන්නේ නැහැ බං. මං හිතන්නේ සිංහල කෙල්ලෙක්.. මම අහගෙන හිටියා පොර මල් කඩනවා. කොලුවා පහුගිය කාලේ නිතරම පන්සල් පැත්තේ ගියා. මට හිතෙන්නේ පන්සලට එන කෙල්ලෙක්.. සිංහල කෙල්ලෙක් සෙට් වෙලාද දන්නේ නැහැ..."
"හැබැයි පංසලට චීන කෙල්ලොත් එනවා. බලාගෙන කොවිඩ් ඉවර වුණා විතරයි. .." මගේ විහිළුවට අකිල ගොනා මූණ දික් කර ගත්තේය. 
ඔබ ඉරිසියාවක් ඇති කර ගන්නේ නාඳුනන අය  ගැන නොවේ. ඔබේම මිතුරන් සම්බන්ධයෙනි.  මගේ හොඳම මිතුරා ගැන ඇතැම් විටක මම ඉරිසියාවෙන් පෙළුණු බව සැබෑවකි. එදා සවස් යාමයේ ඔහුගෙන් සමුගෙන නිවසට එද්දී අපි දෙන්නා ගේ අතීතය ගැන මම මෙනෙහි කළෙමි . අපි දෙන්නා ප්‍රංශයට පැමිණියේ එකටයි. අනේක විධ දුක් ගැහැට  විඳිමින් ප්‍රංශ ජීවිතය ජය ගන්නට සටන් කළ අපි දෙන්නා එකම වසරක විවාහ වීමු. මට සිටින්නේ එක දුවක් පමණි. අකිලට සිටින්නේ එක පුතෙකි. දරුවන් දෙන්නා  එක වයසේ වුණත් අපේ පවුල් දෙක අතර ඇති මිත්‍රත්වය උන් දෙන්නා හදුනන්නේ නැත. අනෙක ප්‍රාණ  සම මගේ දියණිය මේඛලා නීතිඥවරියක් වීමේ අභිලාෂයෙන් අදාළ ඉගෙනුම් කටයුතු වල යෙදෙයි. එහෙත් අකිල ගේ එකම පුතා...? හරින් ...? හරින් ගේ රැකියාව කුමක්දැයි පැහැදිළි කරමි. 

අකිල සහ ගයානි ගේ පුතු හරින් වයස අවුරුදු 18 දී පාසල් අධ්‍යාපන අත්හැර දැමූ බව අපි දැන ගත්තේ පංසලේ "ඕපාදූප සෙෂන්" එකක් අතරේදීය. අකිල හෝ ගයානි මේ ගැන අප සමග නොපැවසුවේ ඇයිදැයි අපි දැන සිටියෙමු. මගේ දුව මේඛලා තරම් හරින් ඉගෙනීමට දස්ස නොවූවත්  අධ්‍යාපනය ඔහු අතහැර දමනු ඇතැයි අපි නොසිතුවෙමු. එය එක්තරා අයුරකින් ලැජ්ජාවකි. අන්තිමේදී මේ ගැන ඇසූ විට අකමැත්තෙන් මෙන් අකිල මට කියා සිටියේ පුතා පුංචි පුංචි රැකියාවල යෙදෙන බවයි. ඒ පුංචි පුංචි රැකියා මොනවාදැයි මම ඇසුවේ නැත. වසර ගණනාවක් ගෙවී ගොස් මගේ දියණිය නීතිය  හාදාරන සමයේ එක් දිනක හරින් කොලුවා ජන්ඩියට හැඳ පැළඳ ගෙන SEAT වර්ගයේ වාහනයක ට ගොඩ වෙනු මම දුටුවෙමි.
"ඕකා කුඩු බිස්නස් කරනවද දන්නේ නැහැ.." ඒ දර්ශනය ගැන බිරිඳ ජානකී ට කියූ විට ඇගේ අදහස එසේ විය. 
"පුතා මොනවද කරන්නේ මේ දවස් වල.. " දිනක් මම අකිල ගොනා ගෙන් ඇසුවෙමි.
"මේරි එකේ පොඩි ජොබ් එකක් හම්බ වුණා... "  ඔහුගේ පිළිතුරයි. "මේරි" යනු නගර සභාවයි. නගර සභාවේ කුමන ආකාරයේ රැකියාවක ඔහු යෙදෙන්නේදැයි ඇසීමෙන් වැළකී සිටි මම අධ්‍යාපනයක් නැති තරුණයෙකු හට නගර සභාවක යෙදිය හැකි රැකියාවක් ගැන සිතන්නට වීමි . නගර සභාවේ කාර්යයන් නොයෙක් පැති වලට විහිදී යන නිසා හරින් කොලුවා කුමන හෝ අත්තක එල්ලී සිටින්නට පුළුවන. කෙසේ හෝ වේවා මාසයකට පමණ පසු කොල්ලාගේ රැකියාව ඇසින් දැක ගැනීමට මට හැකි විය.  පැරිස් 15 ප්‍රදේශයේ මා සේවය කරන අවන්හළේ දොරටුව එක් උදෑසනක විවර කරන මම  පුරුදු මුහුණක් දුටිමි. එහෙත් සිතේ සැකයක්  ඇති වූයේ දැක පුරුදු මුහුණ යෙදී සිටි කාර්යය හඳුනා ගත්  විටය. මා දුටුවේ අකිල ගේ පුතු හරින් ය. ඔහු තවත් සේවකයින් දෙදෙනෙක් සමග මාවතේ කුණු ලොරියට කුණු බක්කි පටවමින් සිටියේය.

අවන් හළ තුළට වැදුණු මම කළේ හරින් යෙදී සිටින කාර්යය දෙස සැගවී බලා සිටීමයි. මගේ සිතේ ඇතිවූයේ කණගාටුවකි. අධ්‍යාපනය අතරමග නවතා දැමුවත් හරින්  කොලුවා හොඳ ළමයෙකි. ඔහු වැඩිහිටියන්ට ගරු  කරන, නරක ඇසුරක් නැති, කාගේවත් චෝදනාවකට ලක් නොවූ අයෙකි. ඔහු කුණු ලොරියට කුණු පටවමින් සිටිනු දැකීම මගේ සිතේ ශෝකයක් ඇති කළේ මීට වඩා හොඳ රැකියාවක් සොයා ගන්නට ඔහු නොහැකි වූයේ මන්දැයි සිතුණු නිසාය.  පුතු නගර සභාවේ රැකියාවක නිරත  වන බව අකිල මා හට කියද්දී,  පුතු සත්‍ය වශයෙන්ම යෙදෙන්නේ කුමන රැකියාවක දැයි ඔහු නොදැන සිටියේද..? එසේ නැතිනම් ලැජ්ජාව නිසා මා සමග නොකියා සිටියේද...? 

මේ ආකාරයෙන් නගර සභාවේ කුණු ලොරියට බක්කි බස්සවා හිස් කරන සේවකයෝ හොඳ වැටුප් ලබන බව මම දනිමි. එය රජයේ  රැකියාවකි. සතියකට සේවය කරන්නේ පැය 35 ක කාලයක් පමණි. නගර සභාවේ සේවය කරන නිසා ඇතැම්  විටක අමතර වාසි ලැබෙන අවස්ථාද තිබේ. එය පිළිගත්, සෑම වෘත්තියක මෙන්ම  අයිතිවාසිකම් හිමි  රැකියාවකි. නගරය පිරිසිදු කරන සේවකයන් දෙස කිසිදු විටක ජනතාව වපර අසලින් බලන්නේ නැත. තමන්ගේ නගරය පිරිසිදුව තබා ගන්න ඔවුන් කෙරෙහි නගරවැසියන් බලන්නේ ගෞරවයෙනි. ලංකාවේ කසළ සෝදක  රැකියාවට ලැබෙන පහත් තැන ප්‍රංශයේ ලැබෙන්නේ නැත. එහෙත්... එහෙත් කිසිම දෙමාපියෙක් තමන්ගේ දරුවා කුණු ලොරියක නැගී යනු දකින්නට කැමති නැත. තමන්ගේ දරුවා එවැනි රැකියාවක් යෙදෙන බව කියන්නට කැමති නැත.
හරින්  කොලුවා ට නොපෙනෙන්නට මම ඔහු දෙස බලා සිටියෙමි. තම සගයන් සමග ඔහු කඩිසරව වැඩ කරයි. සැහැල්ලුවෙන්, සිනහමුසු මුහුණින් වැඩ කරයි. ඔහුවත් සගයන්ටත් කතා කර කෝපි කෝප්පයක් දෙන්නට මම සිතුවෙමි. නැත. ඇතැම් විටක කොල්ලා ලැජ්ජාවට පත් වන්නට ඉඩ  තිබේ.
"අකිල ලා අපිට කිව්වේ නැත්තේ ලජ්ජා නිසා වෙන්න ඇති.. ඔයා ගයානි ගෙන් අහන්න හෙම එපා.." එදා රාත්‍රියේ  මම බිරිඳට කීමි .
"පිස්සුද අනේ මම අහන්න යනවද..? හැබැයි ඉතිං ඕක වැඩිකල් නොගිහින් ආරංචි වෙනවා.."
"මම මේ කල්පනා කෙරුවේ ඇයි රෙස්ටුවරන්ට් ජොබ් එකකටවත් ගියේ නැත්තේ කියලා.. මෙච්චර රස්සාවල් තියන රටේ.."
"එකනේ.. ඩ්‍රයිවින් ජොබ් එකක් කරන්න පුළුවන්නේ.. අද කාලේ හැමෝම එයාර් පෝට් ෂටල් .."
"පුදුමේ කියන්නේ කොල්ලා වැඩ කරන්නේ අපේ රෙස්ටුවර්න්ට් එක තියන පාරෙමයි.. දැන් හැමදාම ඌව මගහරින්න වෙනවා.."
"ඒ මොකෝ මගහරින්නේ..?"
"මාව දැක්කොත් කොල්ලට ලැජ්ජා හිතෙයි.. සමහර විට අකිල ටත් කියයි. එතකොට ඌත් මාව මග හරින්න ගනියි. "
"හ්ම්ම්  ..ඒකත් ඇත්ත.."   වදන් වලින් ප්‍රකාශ නොකළාට අපි දෙන්නා අපි ගැනම ආඩම්බර වීමු. හොඳම මිතුරාගේ පුතා පැරිසියේ පාරවල් වල කුණු අදිනා විට අපේ දියණිය නීතිඥ වරියක් වීමට ඉගෙන ගැනීම ඒ ආඩම්බරකමට හේතු වන්නට ඇත.
   එහෙත් හරින් ව මගහැර යන්නට ගත් උත්සාහය සාර්ථක වූයේ නැත. එක් දිනක ඔහු මගේ මුහුණ ඉදිරියේම විය. "නාලක අංකල් .. බොන්ශූ.. කොහෙද මේ උදේම..?" නගර සභාවේ සේවකයින් ඇඟලන කොළ පැහැති ඇදුමින් සැරසී සිටි කොලුවා මා දැකීමෙන් කිසිදු අපහසුවකට පත් වුණු බවක් පෙනෙන්නට තිබුණේ නැත. ඇත්තෙන්ම අපහසුවට පත් වූයේ මාය . 
"මම වැඩ කරන්නේ අර රෙස්ටුවරන්ට් එකේ පුතා.. කවදා ඉදන්ද මේකේ වැඩ...?"
"මේ පස් වැනි මාසේ අංකල් .. තාත්තා කිව්වේ නැද්ද...?"
"කිව්ව කිව්වා.."
"අංකල් මං යන්නං ..ලොරිය එක්කම යන්න ඕනා.."
"හරි පුතා හෙට එන්න කෝපි එකක් බීලා යන්න... "

      තවත් සතියකට පසු හරින් හමු වීමේ කතාව අකිල හමුවේ කී විට ඔහුගේ මුහුණ අඳුරු වන අයුරු මම දුටිමි. අකිල බොරු පම්පෝරි කතා කියන අයෙක් නොවේ. ඔහු අවංක, පොළොවේ පය ගසා ජීවත් වන්නෙකි. එහෙත්  පුතු ගේ රැකියාව පිළිබඳව වූ සත්‍ය කතාව මා සමග නොකියා සිටීමේ හේතුව මම දැන  සිටියෙමි. ඔහුගේ තැන මා සිටියා නම් මා කරනුයේද එයමය .
    කොවිඩ් වසංගතය හේතුවෙන් මාස පහළොවක කාලයක් සියල්ල වැසී ගිය විට මමත් අකිලත් මුණ ගැසුණේ Whatsapp තුළින් පමණි. පැය ගණන් කතා කරමින් සිටියත් හරින් ගේ රැකියාව ගැන ඇසීමේ වුවමනාවක් මට නොවිණ . කොලුවා සෑම දිනකම රැකියාවට වාර්තා කළ බව වරෙක ඔහු කීවත් හාරා අවුසන්නට නොගියෙමි. දැන් හරින්  BMW වර්ගයේ වාහනයක් මිලට ගන්නට සැරසෙමින් සිටියි. පෙම්වතියක් සිටිනා බවත් විවාහ වීමේ අදහසක් ඇති බවත් කියයි.
"දෙවියන්ගේම පිහිටයි බඳින්න යන කෙල්ලට ..." මගේ බිරිඳ ජානකී කීවාය. "කොයි දෙමාපියෝද කැමති වෙන්නේ කුණු අදින කොල්ලෙකුට තමන්ගේ කෙල්ල දෙන්න...?"
"සමහර විට ප්‍රංශ කෙල්ලෙක් වෙන්න ඇති ජානකී. ප්‍රංශ උන්ට තරාතිරම ගානක් නැහැනේ.." එදා රාත්‍රියේ අපි දෙන්නා හරින් සහ ඔහුගේ "වෙන්න මානාලිය" ගැන නිදි යහනේදී දිගු වේලාවක් කතා කළෙමු. එකම පුතා නිසා අකිල ලොකු විවාහ උත්සවයක් පවත්වනු නියතය. එදිනට පැරිස් නගර සභාවේ කුණු ලොරි පෙරහැරක් පැමිණෙන ආකාරය අපි සිහියට නගා ගෙන නින්දට ගියෙමු. 
  අකිල ගොනා කිසි දිනක මා මගහැර ගොස්   නැත. කිසිදු  හේතුවක් නොදන්නවා සති තුනක්ම ඔහු මා මගහැර ගිය විට, මගේ ඇමතුම් වලට පිළිතුරු නොදෙන විට අසූ හාර දහසට කෝපය නංවා ගෙන එක සති අන්තයකට මම ඔහුගේ නිවසට කඩා වැදුනෙමි. අකිල -ගයානි  දෙන්නාම මා ඉදිරියේ පෙනී සිටියේ තමන් ඇති සිදුවුණු වරදකට සමාව අයදින්නාක් මෙනි. දෙදෙනාම දිරවා ගන්නට නොහැකි දෙයක් ගිල දැමූ සතුන් දෙන්නෙක් මෙන් හැසිරෙති. කිසි දිනක ඔවුහු එවැනි අපබ්‍රංස හැසිරීමක් පෙන්නුම් කර නැත.
"මචං නාලක.. මට උඹව ඕනා. උඹ මගේ බොක්ක. මට බැහැ උඹව නැති කර ගන්න.." අකිල කියයි. ගයානි දෙනෙත් බිමට නැඹුරු කරගෙන සිටියි.
"මොකද වෙලා තියෙන්නේ.. කියපං කෝ.."
"මචං ..තරහා නම් වෙන්න එපා..අපි හිතලා කරපු දෙයක් නෙමෙයි මේක... උඹට මතකද මම කිව්වා අපේ කොලුවා කෙල්ලෙක් යාළු කරගෙන බදින්න හිතා ඉන්නවා කියලා...?"
"ඉතිං ..?"
"මචං .. ඒ කෙල්ල තමයි මේඛලා..."
"මේඛලා..? මගේ දුව...? "
"ඔව් මචං .. අනේ සමාවෙයන් බං ... "
   ඒ මොහොතේම ඔහුගේ නිවසින් පිටවුණු මම හිස හැරුණු අතේ යන්නට සිතා ගතිමි; එහෙත් අවසානයේ මා පැමිණ සිටියේ මගේම නිවසටයි. මගේ පෙනුම දැක බියට පත් වුණු ජානකී අකිල සමග රණ්ඩු  කර ගත්තාදැයි ඇසුවාය. "කෝ දුව..?" මගේ පළමු ප්‍රශ්නයයි.
මුහුණ දී සිටින බැරෑරුම් ගැටලුව ඉදිරියේ අපි දෙන්නාම අසරණ වූ බව සැබෑය. සත්‍ය වශයෙන්ම ගැටලුව නම් අකිල මගේ මිතුරා වීම නොවේ. අපේ එකම දියණිය නගර සභාවේ කුණු ලොරියට කුණු පටවන තරුණයාට දීග දීමයි. හරින් ගේ වෘත්තීය පැරිසියේ සිංහල සමාජයේ බොහෝ දෙනා දනිති. නීතිඥවරියක්, කසළ සෝදකයෙකුට දෙන්නේ කෙසේද..? මුන් දෙන්නා කවද්ද කොහෙදිද මුණ ගැහිලා තියෙන්නේ..? කොයි වේලාවේද කතා කරන්නේ..? කොහොමද ඕක වෙලා තියනවා ඇත්තේ..? ඔයා හිතනවද අරූ අපේ කෙල්ලට මොනවා හරි දුන්නා කියලා..? මේ මගේ බිරිඳගේ ප්‍රශ්නයි. එහෙත් පිළිතුරු මා සතු නොවිණ. මෙය කිසි විටකත් සිදුවිය හැකි මගුලක් නොවේ. දියණියගේ සිත වෙනස් කිරීමේ හැකියාව තමන්ට ඇති බව ජානකි කීවාය. "මගේ කෙල්ල මම කියන දේ අහනවා. මගේ මැණික කොහොමද කුණු ගොඩකට දාන්නේ...? "
එසේ වුවද මේ ප්‍රශ්නය බොහෝ බුද්ධිමත්ව විසඳිය යුතු එකකි. තර්ජන ගර්ජන දැමීමෙන් දියණිය ගේ සිත වෙනස් කරන්නට නොහැකිය. ඇය ඉගෙන ගන්නා අතරම පුංචි රැකියාවක නිරත වන නිසා එකතු කර ගත් මුදලක් තිබෙන්නට පුළුවන. හරින් කොලුවාත් "කුණු " හෝ වේවා රැකියාවක් කරන නිසා ඔවුන් ට තමන්ගේම කුටුම්බයක් තනා ගන්නට අපහසු නොවේ.  කෙල්ල කොයි තරම් අපිට  කීකරු වුණත් ආදරය වෙනුවෙන් දෙමාපියන් අතහැර යන්නට පුළුවන.
"ඔහොම ඉමු. අපි මුළින්ම අකිලලා  එක්ක සම්බන්ධය නවත්වමු. සමහර විට එයාලම යමක් තේරුම් ගනියි.." මගේ උපදෙසයි. එහෙත් එය කිසිදු පදනමක් නැති උපදෙසක් බව මම දැන සිටියෙමි. 
මගේ දකුණු අත වැනි වූ මිතුරා සමග අමනාප වීම පහසු දෙයක් නොවේ. දිනපතා විනාඩි කීපයක්වත් කතා කරන, සතියකට වරක් හමුවන, ඉඩ ලද සැනින් "සෙට්" වෙන අතිජාත මිතුරා නොමැතිවීම දරා ගන්නට මම අසමත් වීමි. දිනකට  ලැබෙන ඇමතුම් හය හතකට මම පිළිතුරු නොදෙන විට ඔහු ජානකී ගේ දුරකථනය ඇමතුවේය. ඇය පිළිතුරු නොදෙන විට අවන්හල වෙත පැමිණ මා එන තුරු රැක  උන්නේය." මම අද වැඩට ආවේ නැහැයි කියන්න.." එය මගේ පිළිතුරයි.
සති දෙකක කාලයක් මෙසේ ගත වී ගිය පසුව,  එක රාත්‍රියක කෑම මේසයේදී සියල්ල වෙනස් විය. කිසිදු අරුමයක් නොපෙන්වා හැසිරෙන්නට උත්සාහ කළද අපේ හැසිරීම් වල නොගැලපෙන බව දියණිය මේඛලා තේරුම් ගෙන සිටියාය. එසේ නැතිනම් සිදුවෙමින් තිබෙනා දේ හරින් කොලුවා ඇයට කීවා සැක නැත. කෑම කන අතරේදී එක වරම ඇය අප දෙස බැලුවාය.
"එයා හොඳ කෙනෙක්..." ඇය මුවින් පිටවිය. අපේ දියණිය බුද්ධිමත් කෙල්ලෙක් බව අපි දනිමු. නීතිඥ විභාගයට ඉගෙන ගන්නා ඇයත් සමග තර්ක කිරීම ගැන සිතන්නටවත් නොහැකි නිසා මේ මොහොතේ හරින් ගැන කතාවක් ඇති වෙන්නේ නම් එය හුදෙක්ම හැගීම් මත පදනම් වී ගලා යන කතා බහක් විය යුතු බව අපි දෙදෙනාටම පැහැදිළි විය.
"ඔයාලා මට හැමදාම කිව්වේ ලංකාවේ කොල්ලෙක් හොයා ගන්න කියලා.. ප්‍රංශ කොල්ලෝ එපා කියලා.. දැන් මොකද ඔයාලට වෙලා තියෙන්නේ..? හරින් කියනවා අකිල අංකල් එයාව මරන්න් හදනවලු ඔයාලගේ යාළුකම නැති කෙරුවා කියලා...." කිව යුත්තේ කුමක්දැයි නොදත් අපි දෙන්නා කළේ මුහුණට මුහුණ බලා ගැනීම පමණි.
"මට අවුරුදු විසි තුනක් තාත්තේ.. මේ විදිහට ඔයාලත් එක්ක කතා කරන්නවත් ඕනා නැහැ. මට පුළුවන් මට ඕන දේ කරන්න. ඒත් ඔයාලා මාව හැදුවේ ඒ විදිහට නෙමෙයි. හැම දෙකටම නිදහස දීලා ආදරේ දුන්න ඔයාලාගේ හිත කඩන්නේ නැතුව ඉන්න මම හැම තිස්සෙම උත්සාහ කෙරුවා. ඒත් මේක සිද්ධ වුණා. මට අහක බලාගෙන ඉන්න බැරි වුණා .." ආහාර ගැනීම නවත්වන ජානකී හෙමින් සීරුවේ ඉකි බිඳින්නට වූවාය . 
"මම දන්නවා හරින් ගේ ප්‍රශ්නේ තියෙන්නේ එයාගේ රස්සාවේ කියලා... එහෙම නේද...?"
"මේඛලා ඔයාට තේරෙනවනේ..."
"නැහැ තාත්තේ තේරෙන්නේ නැහැ.. අද ඔයා රෙස්ටුවරන්ට් එකක චෙෆ් කෙනෙක්. එක කාළෙක ඔයා පිඟන් හේදුවා නේද..? එහෙම කරළා නේද ඔයා අපිට කන්න ගෙනාවේ..? ඔයාලා විසි කරන දහ ජරාව හරින් ලා ඇද්දේ නැත්නම් කව්ද ඒක කරන්නේ..? ඔයා ට හිතෙන්නේ නැද්ද ඔයාට වැඩිය වැදගත් රස්සාවක් කියලා හරින් කරන්නේ..? මේ ලස්සන නගරය පිරිසිදුව තියා ගන්න වැඩ කරන හරින් කරන්නේ බොහොම වැදගත් රස්සාවක් තාත්තේ..." මුල් වතාවට දියණිය ඉදිරියේ නිරුත්තර වන මගේ සිත ගැන කලකිරීමක් ඇති විය. මේ ඇය මා ඉදිරියේ ගෙන හැර දක්වන්නේ ඉගෙන ගන්නා තර්ක ශාස්ත්‍රය නොවේ. ඇය  පැහැදිළි කරන්නේ යතාර්තයයි . දෙමාපියන් ලෙසින් අප පිළිගන්නට අකමැති යථාර්තයයි .
"හරින් ඉගෙන ගන්න දස්ස නැහැ. ඉස්කෝලෙන් අයින් වෙච්ච දවසේ ඉදන් එයා එක එක රස්සාවල් කෙරුවා. කවදාවත් ගෙදරට බරක් වුණේ නැහැ. ලංකාවේ එයාගේ ආච්චිට සල්ලි යවන්නෙත් හරින්. ඔය වයසේ කොල්ලෝ පිස්සු කෙළින කොට හරින් කුණු ලොරියට කුණු පටවලා අනාගතය හදා ගන්න හදනවා තාත්තේ.. කාගෙන්වත් හොරකම් කරන්නේ නැතුව, කුඩු විකුණන්නේ නැතුව,  කුණු ඇදලා පවුලක් නඩත්තු කරන එක වරදක් නැහැ නේද..? එයා අලුත් කාර් එකක් ගන්න කියලා දැන් වැඩියෙනුත් වැඩ කරනවා. මම දෙන්න ඇහුවාම එපා කිව්වා. අවුරුද්දකින් එයාලගේ සෙක්ෂන් එකේ චෙෆ් වෙන්න පුළුවන්ලු. අවුරුදු විසි ගානක් වුණත් අපි තාම ඉන්නේ කුලී ගේක. එයා අවුරුදු දෙකකින් ගෙයක් සල්ලි වලටම ගන්න  ලෝන් එකක් ඉල්ලනවා කිව්වා.. මේ ඔක්කොම කුණු ඇදලා හම්බ කරන සල්ලි. මම ඔයාලගේ එකම දුව.. මට ඕනා ඔයාගේ අතේ එල්ලිලා මගේ වෙඩින් එකට එන්න තාත්තේ...." මම ඇය වෙත ලං වූයේ වැළඳ ගන්නටයි. එහෙත් මගේ දියණිය මේසයෙන් පිටවී ගියාය. 
එදා රාත්‍රියේ නින්දක් නොමැතිව අපි දෙන්නා සීලිම දෙස බලා සිටියෙමු. දියණිය කිවේ සත්‍යයකි. යුරෝපයේ ජීවත් වන්නෝ සුද්දන්ගේ පස්ස පැත්ත සෝදා මුදල් සොයන බව ඇතැම් ලාංකිකයෝ කියති. සුද්දන්ගේ පස්ස පැත්ත සෝදන අයෙක් ගැන මම නොදනිමි. එහෙත් එය එසේ වන්නේ නම් ඇති වරද කුමක්ද..? මව්බිමේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ විදේශිකයින්ට බැලමෙහෙවර කම් කරන්නෝ උපයන මුදලයි. බැලමෙහෙවර කම් කිරීම, කුණු ලොරියට කුණු පැටවීම හොර, මැරකම් කර, බල්ලෝ මරා මුදල් සොයනවාට වඩා ගෞරවනීය බව දැන  සිටියත් මේඛලා එය තවත් තීව්ර කළාය . 
"හැමෝටම දොස්තරලා, ලෝයර්ස්ලා වෙන්න බැහැ  තාත්තේ.. කුණු අදින්නත් කෙනෙක් ඕනා .. හැමෝටම කුක් ලා වෙන්න බැහැ .. පිඟන් හෝදන්නත් කෙනෙක් ඕනා නේද...?" ඇය ඇසුවාය.
පසුදා සිකුරාදා පුරුදු පරිදි උදේ හයයි තිහට අවන්හළ විවර කළ මම හරින් පැමිණෙන තුරු බලා සිටියෙමි. දැන් ඔහු මාර්ගයෙන් එහා පැත්තේ පදික වේදිකාවේ ගමන් කරමින් කුණු බක්කි හිස් කරයි. මා මග හැර යන්නට උත්සාහ කරයි. 
"හරීන් ..." ඔහුගේ මුහුණ පුදුමයෙන් පිරී ගොස් තිබේ. මා අසළට පැමිණෙන විට ඒ මුහුණට එකතු වූයේ බයාදු ගතියකි. වරදක් කළාක් වැනි හැඟීමකි. මට කොලුවා ගැන දුකක් ඇති විය.
"කෝපි එකක් බොමුද...?" මගේ යෝජනාවට සිනහවක් නගා ගත් තරුණයා තම සේවක සගයන් හමු වන්නට ගොස්, විනාඩි කීපයක විවේකයක් ඉල්ලාගෙන  යළි පැමිණියේය.
"උදේට කාලද ඉන්නේ..?" කෝපි කෝප්පය වත්කර දී මම ඇසුවෙමි. "ඔව් අංකල්..කෑවා .."
"අකිල කිව්වා ඔයා අලුත් කාර් එකක් ගන්න යනවා කියලා.. යුරෝ තුන් දාහක් අඩුයි කියලත් කිව්වා..." ඔහු කෝප්පය මේසය මත තබා මදෙස බැලුවේය. නොසිතූ දෙයක් සිදුවෙමින් තිබෙනා බව ඔහු වටහා ගන්නට ඇත. "ඔව් අංකල්.. මම පොඩි පාර්ට් ටයිම් එකක් කරනවා..."
"මම දෙන්නම්..."
"අනේ එපා අංකල් .. තාත්තා මාව මරයි. දැනටමත් හැමදාම මට බනිනවා ඔයාලගේ යාළුකම නැති කෙරුවා කියලා.. සොරි අංකල් .. මම එහෙම..."
"හරින් .. හරින් .. මම දෙන්නම්. ඒක අපි දෙන්නගේ රහසක් විදිහට තියා ගන්න.. අකිලට කියන්න ඕනා නැහැ... හැබැයි තව දෙයක් කියන්න තියනවා..."
"ඒ මොකක්ද අංකල් ..."
"මේ යුරෝ තුන්දාහ දෑවැද්ද නෙමෙයි..."  මා කියන දේ ඔහුට තේරෙන්නට ඇත. එවිට ඒ මුහුණේ මතු වූයේ වදනින් විස්තර කර ගත නොහැකි සතුටකි. පියවර කීපයක් ඉදිරියට තබා ඔහු මා වැළඳ  ගනිද්දී අතේ තිබුණු කෝපි කෝප්පය ඉහිරී යාමෙන් වළකා ගත්තේ අමාරුවෙනි.
"තෑන්ක් යූ අංකල් .. මං දන්නේ නැහැ .."
"ස්තුති කරන්න ඕනා නැහැ පුතා .. දැන් යන්න. කට්ටිය  බලා ඉන්නවා.. මම අකිලට කතා කරන්නම්.. "
    විනාඩි කීපයකට පසු මම අකිල ඇමතුවෙමි. මගේ ඇමතුම බලාපොරොත්තුව සිටියාක් මෙන් පළමු තත්පරයෙදීම ඔහු උත්තර දුන්නේය.
"මචං..?"
"අකිල.. අපි කාළෙකින් හම්බ වුණේ නැහැ. අද මොකද කරන්නේ...?"
"දැන් හරින්  කතා කෙරුවා මචං .. ඇත්තද..?"
"ඔව්.. හවස සෙට් වෙමුද..?"  එදා  දවස මගේ ජීවිතයේ ප්‍රීතිමත් දිනයක් යැයි දැන්  සිතේ. ඇතැම් විටක දරුවන් අපේ බුද්ධිය අවදි කරති. ඔවුන්ට කන් දීමෙන් ලෝකය හඳුනා ගැනීමේ හැකියාව දෙමාපියන්ට ලැබේ. 
අකිල, මගේ අතිජාත මිත්‍රයා  ඥාතියෙකු බවට පත් වූයේ එසේය. "ළමයි බන්දලා දුන්නට කමක් නැහැ. ඒක බොන්න සෙට් වෙන්න හේතුවක් කර ගන්න එපා.." අපේ ගැහැනුන් අවවාද කළහ .


Nissanka Rajapaksa

unread,
Dec 26, 2023, 5:22:29 PM12/26/23
to INDRAKA group

58

කුෂිරෝවේ පිටසක්වල යානයක්  

(U.F.O. in Kushiro by Haruki Murakami)

- පරිවර්තනය රශ්මික මණ්ඩාවල

දිනපහක් පුරා ඇය ගතකළේ රූපවාහිනී තිරයට සමවැදීය. බාහිර ලෝකය ගැන කිසිදු වගවිභාගයකින් තොරව ඇය බිඳ වැටුණු රෝහල්,බැංකු මෙන්ම ගිනි දැල්ලෙන් වැසී යන ගබඩාවන් හා පොළොවෙහි ගිලී ගිය දුම්රිය හා අධිවේගී මාර්ග දෙස බලාසිටියාය. මේ කිසිදු විටක ඇය එකදු හෝ වචනයක් නොදෙඩුවාය. සෝපාවෙහි ගැඹුරටම ගිලී ගොස් සිටි ඇගේ වැසුණු තොල්පෙති කොමුරා ඇයට කතාකළ විටක පවා විවර නොවිනි. අඩුම තරමේ ඇය හිස යන්තම් සෙලවූයේ හෝ නැති. තමාගේ වචනවල ශබ්දය හෝ ඇගේ සවන් අතරට යොමුවන බවට විශ්වාසයක් කොමුරාට නොවීය.

කොමුරාගේ බිරිඳ උතුරුදිග යමගාටා ප්‍රාන්තයේ උපන් කාන්තාවක වූ  අතර ඔහු දන්නා තරමින් ඇයට කෝබේ ප්‍රාන්තයේ  තුවාල ලබා හෝ මරණයට පත්වන්නට කිසිදු නෑදෑයෙක් නොමැතිය. එසේ වුවත් ඇය උදෑසන සිට රාත්‍රිය දක්වාම රූපවාහිනිය ඉදිරියේ ගල්ගැසී සිටියාය. උදයේ අවදිවන කොමුරා තමන් විසින්ම ටෝස්ට් සහ කෝපි පිළියෙල කරගෙන වැඩට යන්නේය. සවස් භාගයේ යළි නිවසට පැමිණෙන ඔහු ශීතකරණයේ ඇති යමක් සකසාගෙන ආහාරයට ගනී. ඔහු නින්දට යන විටත් ඇය රාත්‍රී පුවත් විස්තරයට නෙත්යොමාගෙන සිටී. ඔහු ඉදිරියේ ඇය කිසිම දෙයක් ආහාරයට හෝ බීමට නොගත් අතර අඩුම තරමේ වැසිකිළියට හෝ ගියේ නැත. ඇය වටා නිහඩ ගල් පවුරක් ගොඩනැගී තිබිණ. කොමුරා එය බිඳදැමීමේ උත්සාහය අතහැරියේය.
හයවැනි දිනයේ එනම් ඉරිදා ඔහු වැඩඇරී එනවිට ඇය අතුරුදහන්ව සිටියාය.

ටෝකියෝවේ “ඉලෙක්ට්‍රොනික නගරය” ලෙස හැඳින්වූ අකිහබරා නගරයේ ඉපැරණි ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ අලෙවි කරන වෙළඳසැලක අලෙවිකරුවෙකු ලෙස කොමුරා සේවය කළේය. මිලෙන් අධික භාණ්ඩ අලෙවි කළ කොමුරා එක සාර්ථක වෙළදාමකින් සැලකිය යුතු මට්ටමේ කොමිස් මුදලක් උපයා ගත්තේය. ඔහුගේ ගනුදෙණුකරුවන් අතර වෛද්‍යවරුන්, සල්ලිකාර ස්වාධීන ව්‍යාපාරිකයින් මෙන්ම ධනවත් නිළධාරීන් වූහ. වසර අටක් පුරා මේ රැකියාවේ නියුතු කොමුරා ආරම්භයේ සිටම සැලකිය යුතු මුදලක් උපයා ගත්තේය. ජපානයේ ආර්ථිකය ස්ථාවර වීමත් සමඟම දේපළ වෙළදාම් වැනි ක්ශේත්‍රවල අධික ලෙස මුදල් සංසරණය වන්නට පටන් ගත්තේය. බොහෝ  පසුම්බි යෙන් දසදහසේ නෝට්ටු බිල්පත් වලින් පිරී ඉතිරී ගිය අතර ඒවා වියදම් කිරීමට බොහෝ දෙනා උත්සුක වූහ. මේ නිසාම මිළෙන් අධික භාණ්ඩ පළමුවෙන්ම අලෙවි කරගන්නට ව්‍යාපාරිකයින්ට හැකියාව ලැබුනි.   

උස් හා සිහින් සිරුරකට හිමිකම් කියූ කොමුරා ජේත්තුකාර ඇඳුමෙන් නිතර සැරසුනෙකි. ඔහු මිනිසුන් සමඟ හොඳින් ගනුදෙණු කළේය. ඔහුගේ තනිකඩ සමයේදී බොහෝ කාන්තාවන් ඇසුරු කළ නමුත් වයස 26 දී විවාහවීමෙන් පසු ලිංගික වික්‍රමාන්විත ක්‍රියාවල නියැළීමේ ඔහුගේ ආශාව අද්භූත ලෙස අතුරුදහන්ව තිබුනි. විවාහයෙන් ගෙවීයන පස්වසර තුළම ඔහු කිසිම වෙනත් කාන්තාවක සමඟ ලිංගික ඇසුරක් පවත්වා නොමැතිය. ඔහුට ඒ සඳහා අවස්ථාව හිමිවුනද එක් රැයක් සඳහා පවත්වන සබඳතාවයන් කෙරෙහි ඔහුගේ උනන්දුව හීනවී තිබුනි. ඒ වෙනුවට  වේලාසනින් නිවසට පැමිණ සිය බිරිඳ සමඟ විවේකීව ආහාර ගෙන, ඇය සමඟ සෝපාවෙහි වැතිර කතාබහක නියැලී යහන්ගතව ආදරයෙන් වෙලීම පමණක් ඔහුට අවැසි විය. එය ඔහුගේ ජීවිතය තෘප්තිමත් කළේය.  

කොමුරාගේ විවාහය පිළිබඳව ඔහුගේ මිතුරන් ව්‍යාකූල අදහස් දැරීය. කොමුරාගේ පෙනුම හා ස්වභාවය අනුව ඔහුගේ බිරිඳ සාමාන්‍ය තරුණියකටත් වඩා සාමාන්‍ය විය. ස්වභාවයෙන් කොට, මහත අත් සහ අඳුරු බාහිර පෙනුමෙන් යුක්ත ඇය පෞරුෂයෙන්ද ආකර්ශණීය නොවුනි. කළාතුරකින් කතාබහකළ ඇයගේ ප්‍රකාශනය පවා සිත්ඇද ගන්නා සුලු නොවීය.

හේතුව නිවරදිව නොවැටහුනත් සිය බිරිඳ සමඟ එකම වහළක් යට සිටින විට කොමුරාගේ ආතතිය දුරුව ගියේය. ඔහු සැබවින්ම විවේකයක් ලැබුයේ නම් ඒ එලෙස ගතකළ කාලය පමණක්ම විය. ඇය සමඟ නින්දට ගිය විට පෙරදී ඔහුගේ නින්දට බාධා කල අමුතු සිහින ඔහුට කරදර කරන්නට ආවේ නැත. ඔහුගේ ශිෂ්ණය සෘජුව පැවතියේය. ඔහුගේ ලිංගික ජීවිතය උණුසුම්ය. ඔහුට තවදුරටත් මරණය, භයානක රෝග හෝ අතිවිශාල විශ්වය පිළිබඳව වදවීමට හේතුවක් තිබුනේ නැත.
අනෙක් අතට ඔහුගේ බිරිඳ ටෝකියෝවේ ජනාකීර්ණ නාගරික ජීවිතයට ප්‍රිය නොවූ අතර ඇගේ උපන්බිම වූ යමගටාවට ආශක්ත විය. සිය දෙමාපියන් හා වැඩිමහල් සහෝදරියන් දෙදෙනා සිහිවූ අවස්ථාවල ඇය ඔවුන් බැලීමට යමගටාවට ගියාය. ඇගේ දෙමාපිය් එහි සාර්ථක ලෙස තානායමක් පවත්වාගෙන ගිය අතර ඉන් ඔවුන්ගේ ආර්ථික තත්වය යහපත් විය. ඇගේ පියා සිය බාල දියණිය පිළිබඳව මහත් ආශක්ත වූ අතර මේ ගමන්වාර වල වියදම් ඔහු විසින් දරනු ලැබුවේ බොහෝ සතුටෙනි. බොහේ විට, කොමුරා වැඩ අවසන්ව නිවසට පැමිණෙන විට ඇය කුස්සියේ මේසය මත කුඩා සටහනක් තබා සිය දෙමාපියන් බැලීමට යමගාටාවට ගොස් සිටියාය. ඔහු කිසිවිටෙක එයට විරුද්ධ වූයේ නැත. ඔහු ඇය නැවත පැමිණෙන තෙක් බලාසිටි අතර ඒ හැම අවස්ථාවකම ඔහුගේ බලාපොරොත්තුව සඵල කරමින් සතියකින් හෝ දින දහයකින් ඇය වඩා ප්‍රබෝධමත්ව නැවත පැමිණියාය. 

එහෙත් භූමිකම්පාවෙන් දින පහකට පසුව ඇය තබා ගොස් තිබූ සටහන වෙනස්ය. “මම යළි කිසිදිනෙක නොඑමි” ඇය සටහන් කර තිබුනාය. එමෙන්ම කොමුරා සමඟ ජීවත් වීමට ඇයට අවශ්‍ය නොවන කාරණාව ඇය එහි පැහැදිලිව ලියා තිබුනි. “ප්‍රශ්නය නම් ඔබ මට කිසිවක් නොදීමයි”. “වඩාත් නිවරදිව කිවහොත් මට ලබාදීමට ඔබේ අභ්‍යන්තරයේ කිසිවක් නොමැති වීමයි. ඔබ ඉතා හොඳ කාරුණික, කඩවසම් අයෙකු බව සැබෑය. නමුත් ඔබ සමඟ දිවිගෙවීම වාතයෙන් කොටසක් සමඟ ජීවත් වන්නාක් මෙන්ය. එය කිසිවිටෙක ඔබේ වරදක් නොවේ. ඔබ සමඟ ප්‍රේමයෙන් බැඳීමට කාන්තාවන් ඕනෑ තරම් සිටී. කරුණාකර කිසිවිටෙක මට කතානොකරන්න. මා අතහැර දමාවිත් ඇති මට අයිති දෑ ඉවත් කරන්න.” ඇය ලියා තිබුනාය.
ඇයගේ යැයි කිව හැකි බොහෝ දේවල් ඉතිරිව තිබුනේ නැත. ඇගේ ඇඳුම්, සපත්තු, කුඩය, කෝපි කෝප්පය, කොණ්ඩා වියලනය යන මේ සියල්ල රැගෙන ගොසිනි. උදෑසන ඔහු වැඩට ගිය අතරතුරෙහි ඇය මේවා පෙට්ටිවලට අසුරා පිටත් කරන්නට ඇත. ඇගේ යැයි කිවහැකි දේවල් අතර තිබුනේ කඩපිළට යාමට ඇය භාවිත කළ බයිසිකලය සහ පොත්පත් කිහිපයක් පමණි. ඊට අමතරව කොමුරා විසින් තරුණ වියේ සිට එකතු කරන ලද බීට්ල්ස් සංගීත කණ්ඩායමේ හා බිල් එවන්ස්ගේ ගීත ඇතුළත් සංයුක්ත තැටි එකතුවද අතුරුදහන්ව තිබුනි. 

පසු දිනයේ උදෑසන ඔහු යමගටාවේ සිය බිරිඳගේ දෙමාපියන්ගේ නිවසට දුරකතනයෙන් ඇමතුවේය. දුරකතන ඇමතුමට පිළිතුරු දුන් ඔහුගේ නැන්දනිය ඔහුගේ බිරිඳට ඔහු සමඟ කතාකිරීමට අවශ්‍යතාවයක් නොමැති බව පැවසුවාය. ඇගේ ස්වරය සමාව අයදින සුලුවිය. දික්කසාදයට අදාළ ලියවිලි ළඟදීම ඔහු වෙතට ලැබෙනු ඇති බවත් හැකි ඉක්මනින් ඒවා අත්සන් කර නැවත ආපසු එවන ලෙස ඇය තවදුරටත් පැවසුවාය. 

එලෙස කිසිවක් ඉක්මනින් ආපසු එවිය නොහැකි බව පැවසූ කොමුරා මේ වැදගත් කාරණාව පිළිබඳව ඔහුට නැවත නැවතත් සිතිය යුතු බව පිළිතුරු ලෙස පැවසුවේය.

“ඔබට මේ පිළිබඳව ඔබට කැමති ආකාරයකට සිතන්න පුලුවන්. ඒත් මම හිතන්නේ නෑ ඒකෙන් මේ කිසිම දෙයක් වෙනස් වෙයි කියලා” කොමුරාගේ නැන්දනිය පිළිතුරු දුන්නාය.

ඇය බොහෝ විට නිවැරදි යැයි කොමුරා සිතුවේය. කොතරම් කාලයක් බලා සිටියද මේ කිසිවක් වෙනස් නොවනු ඇත. එය ඔහුට ප්‍රත්‍යක්ෂ විය.
දික්කසාද ලියවිලි අත්සන් තබා යැවීමෙන් කෙටි කලකට  පසු ඔහු සිය කාර්යාලයෙන් සතියක නිවාඩුවක් ලබාගත්තේය. පෙබරවාරි මාසය කොහොමත් වෙළඳාම අතින් මන්දගාමී මාසයකි. එමෙන්ම තමන්ගේ ජීවිතයේ සිදුව ඇති වෙනස්කම් පිළිබඳව ඔහු සිය ප්‍රධානියා දැනුවත් කර තිබුනු නිසා නිවාඩු ලබාගැනීමට කිසිදු බාධාවක් නොවිනි.

කොමුරා සමඟ දිවා ආහාරය ගැනීමට පැමිණි සසාකි නම් ඔහුගේ සගයෙකු "මට ආරංචි උනා ඔබ කෙටි විවේකයක් ගන්නවා කියලා, ඔබ කුමක් හෝ සැලසුම් කර තිබෙනවද?” යැයි කොමුරාගෙන් විමසුවේය
“මම දන්නේ නෑ” කොමුරා පැවසීය. “මොකක්ද මම කරන්න ඕන?”

කොමුරාට වඩා වසර තුනකින් බාල වූ සසාකි තවමත් තනිකඩයෙකි. ඔහුට අලංකාර කෙටි කෙස්වැටියක් තිබූ අතර රත්තරන් පැහැති රාමුවක් සහිත කණ්නාඩි යුගලයක් පැළඳ සිටියේය. ඔහු ඕනෑවටත් වඩා කතා කළ අයෙකු වූ අතර තමන් පිළිබඳව අනවශ්‍ය විශ්වාසයකින් පසුවූ අයෙකු නිසා බොහෝ දෙනෙකු ඔහුට අකමැති විය. නමුත් ඔහු කොමුරා සමඟ ඉතා හොඳින් හා පහසුවෙන් වැඩකටයුතු කළේය.

 “මොන මඟුලක්ද? කෙටි නිවාඩුවක් ගන්නවා නම් ඇයි ඔබ ලස්සන පැත්තකට සංචාරය කරන්නේ නැත්තේ”

“ඒකනම් නරක අදහසක් නෙමේ” කොමුරා පැවසීය.

සිය කණ්ණාඩිය ගලවා අතැති ලේන්සුවෙන් එය පිසදමමින් සසාකි කොමුරා දෙස බැලුවේ කිසියම් වූ හෝඩුවාවක් සඳහා ඔහුව පරීක්ෂා කර බලන ආකාරයෙනි. 

“ඔබ කවදහරි හොකයිඩෝ වලට ගිහින් තියෙනවද?” ඔහු ඇසුවේය.

“කවදාවත් නැහැ” කොමුරා පැවසීය.

“ඔබ කැමතිද යන්න”

“ඇයි ඔබ එහෙම අහන්නේ?”

සසාකි සිය දෑස හීනි කොට උගුර පෑදුවේය. “ඇත්තම කියනවනම්, මගේ ලඟ තියෙනවා පුංචි පාර්සලයක් කුෂීරෝ වලට යවන්න, මම හිතනවා මම වෙනුවෙන් ඔබ ඒක එහෙට  ගෙනියයි කියලා. ඒක ඔබ මට කරන ලොකු උදව්වක්. ඔබේ ටිකට්පතට මම මුදල් ගෙවන්නම්, ඒ වගේම කුෂීරෝ වල ඔබගේ හෝටල් බිලත් මට ගෙවන්න පුලුවන්.”

“පුංචි පාර්සලයක්?”

“මෙන්න මේ වගේ” අගල් හතරක පමණ කොටුවක් සිය අත්වලින් පෙන්වමින් සසාකී පැවසුවේය. “එච්චර බර නැහැ”

“රාජකාරියට සම්බන්ධ දෙයක්ද?”

“අපෝ නැහැ” සසාකි සිය හිස දෙපැත්තට සැලුවේය. “ඉතාම පුද්ගලිකයි. ඒ නිසාමයි මට ඒක තැපැල් කරන්න බැරි. මම කැමති නැහැ ඒක අතින් අතකට යනවට.  ඒක මට මගේ අතේම ගෙනිහිං බාරදෙන්න අවශ්‍යයි. ඒත් හොකයිඩෝ වලට යන්න මට වෙලාව නැහැ. මම කැමතියි ඔබට ඒක අතේම භාරදෙන්න පුලුවන්නම්” 

“ඒක එච්චරම වැදගත් දෙයක්ද?”

ඔහු සිය වැසුනු දෙතොල තරමක් නොපිට පෙරළුවේය. ඔහු තරමක තිගැස්මකට පත්විය. “ඒක බිඳෙන සුලු එකක් නෙමේ. අනිත් ඒක කිසිම අනතුරුදායක දෙයක් නෙමෙයි. ඒ ගැන වදවෙන්න අවශ්‍ය නැහැ. ගුවන් තොටුපලේ එක්ස් කිරණ යන්ත්‍රයේදී ඔවුන් ඔබව නවත්ත ගන්නේ නෑ. මම පොරොන්දු වෙනවා ඔබට කිසිම කරදරයක් වෙන්නේ නෑ කියලා. එකම දේ මට හිතහදාගෙන ඒක තැපෑලෙන් යවන්න බැරිකමයි.”

පෙබරවාරි මාසයේදී හොකයිඩෝ සීතලෙන් ගල්ගැසෙන බව කොමුරා දැන උන්නේය, එහෙත් සීතල හෝ උණුසුම මේ සියල්ලම දැන් ඔහුට එකහා සමානය.
“ඉතින් කාටද මම මේ පාර්සලය දෙන්න ඕන?”

“මගේ සහෝදරිය. මගේ බාල සහෝදරිය. ඇය ජීවත් වෙන්නේ එහේ”

කොමුරා සසාකිගේ ඉල්ලීම පිළිගැනීමට තීරණය කළේය. ඒ ගැන සිතීම අනවශ්‍ය කරදරයක් වනු ඇත. එම ඇරයුම ප්‍රතික්ෂේප කිරීමට ඔහුට හේතුවක්ද නැත. ඒ ක්ෂණිකයෙහිම සසාකි ගුවන් සමාගමකට අමතා දින දෙකකට පසුව දිනක් සඳහා ටිකට් පතක් වෙන්කර ගත්තේය.

පසු දින වැඩකරන අතරතුර සසාකි පැමිණ ඔහුට මැනිලා කඩදාසියෙන් ඔතනලද මිනී අළු තැන්පත් කරන ආකාරයේ කුඩා පෙට්ටියක් ලබාදුන්නේය. එය ලී වලින් කරන ලද එකක් බව අතටගත් විට ඔහුට හැගුණි. එහි කිසිදු බරක් නොදැනුනි. විනිවිද පෙනෙනෙ ටේප් එකකින් කඩදාසිය වටා ඔතා තිබුණි. කොමුරා එය තත්පර කිහිපයක් සිය අත්ලෙහි තබාගෙන නිරීක්ෂණය කළේය. ඔහු එය තරමක් සොලවා බැලුවේය. එහෙත් පෙට්ටිය ඇතුලත කිසිවක් සෙලවෙනු ඔහුට නොදැනුනි. 
“මගේ සහෝදරිය ඔබව ගුවන්තොටුපලින් කැඳවාගෙන යාවි” සසාකි පැවසීය.

“ඇය ඔබට නවාතැන් ගැනීමට කාමරයක්ද ලබාදේවි. ඔබ කරන්න ඕන පිටවීමේ ගේට්ටුව අසලදී ඇයව හමුවීම පමණයි”

සිය ඝනකම් ටීෂර්ට් එකකින් ඔතා සූට්කේස් එක තුළ තැන්පත් කළ පෙට්ටියද සමගින් කොමුරා නිවසින් පිටව ගියේය. ගුවන්යානය ඔහු සිතුවාට වඩා ජනාකීර්ණ කාර්යයබහුල වී තිබුනි. ශීත සෘතුවේ මැද භාගයේදී මෙතරම් පිරිසක් ටෝකියෝවේ සිට කුෂීරෝ දක්වා යන්නේ ඇයිදැයි ඔහු පුදුමයට පත්විය.

උදෑසන පුවත්පත පිරී තිබුනේ භූමිකම්පාව පිළිබඳ වාර්ථාවලනි. ගුවන් ගමන අතරතුරම ඔහු පුවත්පත මුල සිට අගට කියවා අවසන් කළේය. මියගිය පිරිස ඉහළ යමින් පවතී. බොහෝ ප්‍රදේශවලට තවමත් විදුලිය හා ජල පහසුකම් ලැබී නොමැති අතර ගණනය කළ නොහැකි තරම් පිරිසකට නිවාස අහිමි වී ඇත. හැම ප්‍රවෘත්තියක් තුළම අලුත් ඛේදවාචකයක් අඩංගු වූ නමුත් කොමුරාට මේ ඛේදවාචකයන් ගැඹුරින් අඩු අමුතු බවක් ගත්තේය. භූමිකම්පාවේ පසුමය තත්වය ඔහුට ඈතින් ඇසෙන ඒකාකාරී දෝංකාරයක් බඳුවිය.  ඔහු මෙවෙලෙහි බැරෑරුම්ව සිතූ එකම කරුණක් වී නම් ඒ සිය බිරිඳ තමාගෙන් දුරස් වෙමින් පැවතීමයි.

සිය බිරිඳ ගැන හා එම සිදුවීම් පිළිබඳ කල්පනා කිරීමෙන් වෙහෙසට පත්වූ විට ඔහු සිය දෑස් වසාගනිමින් කෙටි නින්දකට යොමුවිය. නැවත ඔහු ඇහැරුන විට යළිත් සිය බිරිඳ ගැන සිතුවේය. උදෑසන සිට රාත්‍රීය දක්වාම ආහාර හා නින්ද පවා නොගෙන භූමිකම්පාව පිළිබඳ වාර්ථා ඇය එතරම් බරපතල ලෙස හඹා ගියේ කිමද? ඔහු නොදුටු ඇය පමණක් එහි දුටු දේ කුමක්ද?

එක සමාන වර්ණයන්ගෙන් හා මෝස්තරයෙන් යුතු ඇඳුම් වලින් සැරසුන කාන්තාවන් දෙදෙනෙකු ගුවන්තොටුපලේ කොමුරා හමුවීමට පැමිණ සිටියහ. පැහැපත් සමක් තිබූ එක් තරුණියක් අඩි පහත් හයත් අතර උසකින් සමන්විත වූ අතර ඇගේ නාසය හා උඩු තොල අතර කොටස අසාමාන්‍ය ලෙස දිගුව තිබුනේ කොමුරාට කෙටි රෝම සහ කුර සහිත සතුන් සිහිපත් කරවමිනි. අනෙක් කාන්තාව උසින් අඩි පහයි අඟල් එකකට ආසන්න උසක් තිබුනු අතර ඇගේ නාසය ප්‍රමාණයට වඩා කුඩා නොවී තිබුනි නම් ඇය වඩාත් පියකරු වන්නට තිබුණ බව කොමුරාට හැඟුනිි. ඇගේ දිගු කොණ්ඩය උරහිස දක්වා පහළට වැවී තිබිණි. ඇගේ කන් නිරාවරණය වී තිබූ අතර, දකුණු කන් පෙත්තේ උපන් ලප දෙකක් තිබූ අතර ඇය පැළඳ සිටී කරාබුව නිසා එය වඩාත් කැපී පෙනුනි. කාන්තාවන් දෙදෙනාම ඔවුන්ගේ වයස විසිගණන්වල මැද භාගයේ සිටින බව පෙනෙන්නට තිබුනි. ඔවුන් කොමුරාව ගුවන් තොටුපලෙහි පිහිටි අවන්හලක් වෙත කැඳවාගෙන ගියහ.

“මගේ නම කෙයිකෝ සසාකි” උසැති කාන්තාව පැවසුවාය. “මගේ සහෝදරයා කිව්වා ඔබ ඔහුට කොතරම් උපකාරයක්ද කළේ කියලා. මේ මගේ මිතුරිය ෂිමාඕ.”

“හමුවීම සතුටක්” කොමුරා පැවසීය.

“හායි” ෂිමාඕ පැවසුවාය.

“මගේ සහෝදරයා මට කිව්වා ඔබේ බිරිඳ මෑතකදී නැතිවුනා කියලා” කෙයිකෝ සසාකි පැවසුවේ එයට ගෞරවය මුසු ස්වරයක් එක්කරමිනි.

පිළිතුරක් දීමට පෙර කොමුරා කෙටි වේලාවක් ගත්තේය. “නෑ ඇය මැරුණේ නැහැ”

“මම මගේ සහෝදරයාට කතාකළේ  පෙරේදා. මට විශ්වාසයි ඔහු පැහැදිලිව කිව්වා ඔබේ බිරිඳ නැතිවුනා කියලා”. 

“ඔව් නැතිවුනා තමයි. ඇය මාව හැරගියා. ඒත් මම දන්න තරමින් ඇය ඉතා හොඳින් ජීවත් වෙනවා”

“ඒක හරි අමුත්තක්. ඒ තරම් වැදගත් දෙයක් මම හරියට අහගත්තේ නැති එක” වරදකාරී බැල්මකින්  ඇය ඔහු දෙස බැලුවාය.  කොමුරා සිය කෝපි කෝප්පය තොලගෑමට පෙර සීනි ස්වල්පයක් ඔහුගේ කෝප්පයට දමා හැන්දෙන් එය කවළම් කළේය. ඝනකමින් අඩු වූ කෝපි පානය එතරම් රසවත් නොවීය. 'මොන මගුලක්ද මම මෙහේ කරන්නේ?' ඔහු පුදුමයෙන් සිතීය.

“හොඳයි මම හිතන්නේ මට ඒක වැරදියට ඇහෙන්න ඇති. මන් දන්නේ නෑ කොහොමද ඒ වැරැද්ද පැහැදිලි කරන්නේ කියලා” කෙයිකෝ සසාකි පැවසුවාය, ඇගේ මුහුණේ තිබුනේ සෑහීමකට පත්වූ බවකි. දිගු හුස්මක් ඉහළට ගත් ඇය යටිතොල තරමක් සෙමින් සැපුවාය. “අනේ කරුණාකරලා මට සමාව දෙන්න. මම හරිම නපුරුයි”.

“ඒ ගැන ඔබ වදවෙන්න එපා. කොහොමත් ඇය ගිහින් ඉවරයි”

කොමුරාගේ හා කෙයිකෝ ගේ සංවාදය අතරතුර ෂිමාඕ කිසිවක් නොපැවසුවාය. එහෙත් ඒ කාලය තුළ ඇය සිනහසෙමින් කොමුරා දෙස දෑස් අයා බලා සිටියාය. ඇය තමන්ට කැමැත්තක් දක්වන බව ඇගේ  ප්‍රකාශනයෙන් හා සියුම් අංගචලනයන්ගෙන් ඔහුට පැවසිය හැකිවිය. තිදෙනා අතරම කෙටි නිහඩතාවයක් ඇතිවිය. 

“ම් ම් කොහොම උනත් මම ගෙනාපු මේ වැදගත් පාර්සලය මම ඔබට දීලා ඉන්නම්” කොමුරා පැවසීය. සිය සූට්කේසය විවර කළ ඔහු ඝනකම ටීෂර්ට් එකේ ඔතා තිබුණු පාර්සලය එළියට ගත්තේය.
මේසය හරහා තම දෑත දිගුකළ ඇය, හැඟීම් විරහිත බැල්මකින් පාර්සලය දෙස බලා සිටියාය. එහි බර පරීක්ෂාකිරීමෙන් පසු ඇය එය සිය කණට ළංකර කිහිප වරක් සොලවා කොමුරා සිදුකළ අයුරින්ම පරීක්ෂා කර බැලුවාය. ඇය ඔහුට සිනහවකින් සංග්‍රහ කළ අතර සියල්ල යහපත් බව ඒ සිනහව ඉඟි කළේය, ඉන්පසු ඇය එම පාර්සලය ඇගේ විශාල අත්බෑගය තුළට දමාගත්තාය.

“මට දුරකතන ඇමතුමක් ගන්න ඕන” ඇය පැවසුවාය. “මම විනාඩියකට ඇමතුම අරගෙන ආපසු ආවට කමක් නැද්ද?”

“කොහෙත්ම නෑ” කොමුරා පැවසීය. “ඔබේ කාර්යය නිදහසේ කරගන්න”

කෙයිකෝ සිය අත්බෑගය උරහිසට දමාගෙන ඈතින් පිහිටි දුරකතන කුටිය දෙසට පියමං කළාය. ඇය ගමන් කරන ආකාරය කොමුරාගේ සියුම් නිරීක්ෂණයට හසුවිය.  ඇගේ ඉනෙන් ඉහළ කොටස නිශ්චල වූ අතර ඉනෙන් පහළ කොටස විශාල, සෞම්‍ය යාන්ත්‍රික චලනයක් ඇති කළේය. තමන් පැරණි මතකයක මොහොතකට අතරමංව ඇති බව ඔහුට හැඟුනේය. ඔහු වහ වහා යළි වර්තමානයට පිවිසුනේය. 

“ඔබ මීට පෙර හොකයිඩෝ වලට ඇවිල්ලා තියෙනවද?” ෂිමාඕ ඇසුවාය.

කොමුරා සිය හිස දෙපසට සැලුවේය.

“ඔව් මං දන්නවා මෙහෙට එන්න සෑහෙන දුරක් එන්න ඕන කියලා” 

කොමුරා එය හිසින් අනුමත කළේය. ඉන්පසු ඔහු වටපිටාව මැන බැලුවේය. “ඒක හරි අමුතුයි. දැන් මෙතන වාඩිවෙලා ඉද්දී මට දැනෙන්නේ නෑ මං මෙච්චර දුරක් ආවා කියලා”

“ඒ ඔබ පියාසර කළ නිසා. මේ ගුවන්යානා හරිම වේගවත්. ඔබේ මනසට ඔබේ ශරීරය එක්ක එකවර සමපාත වෙන්න බැරි වෙනවා ඒ නිසා.”

“ඔබ කියන දේ ඇත්ත වෙන්න පුලුවන්”

“ඔබට මේතරම් දිගු ගමනක් යන්න අවශ්‍යමද?”

“මම හිතන්නේ ඔව්” කොමුරා පැවසීය.

“ඔබේ බිරිඳ ඔබව හැර ගිය නිසා?”

කොමුරා එය හිසින් අනුමත කළේය.

“ඔබ කොයිතරම් දුරක් ගමන් කළත්, ඔබට කවදාවත් ඔබෙන් ඈත්වෙන්න බෑ” ෂිමාඕ පැවසුවාය.

ඇය කතාකරන විට කොමුරා සීනි දැමූ බඳුන දෙස බලා සිටියත් මෙවෙලෙහි ඔහු එක්වරම සිය හිස ඔසවා ඇගේ දෑස දෙස බැලුවේය.

“ඒක ඇත්ත” ඔහු පැවසුවේය. “කොච්චර දුරක් ඔබ ගමන් කළත්, ඔබට කවදාවත් ඔබෙන් ඈත් වෙන්න බෑ.ඒක හරියට හෙවනැල්ල වගේ. ඒක අපි යන හැමතැනකම තියෙනවා”

ෂිමාඕ ඔහු දෙස දැඩි බැල්මකින් බලා සිටියාය. “ඕන ඔට්ටුවක් ඔබ ඇයට ආදරේ කලා. එහෙම නෙවෙයිද?”

කොමුරා ප්‍රශ්නය මඟහැර ඇය වෙත වෙනත් පැනයක් යොමු කළේය. “ඔබ කෙයිකෝ සසාකිගේ යාළුවෙක්ද?”

“හරි. අපි දෙන්නා එකට වැඩකරන්නේ”

“මොන වගේ වැඩද?”

ඔහුට උත්තර නොදුන් ෂිමාඕ ඔහුගෙන් ප්‍රශ්නයක් ඇසුවාය. “ඔබට බඩගිනිද? ”

“ මම දන්නේ නෑ” කොමුරා පැවසුවේය. “මම ඉන්නේ බඩගින්නයි, බඩ පිරීමයි අතර මැද මට හිතෙන්නේ”

“යමු අපි තුන්දෙනාම ගිහින් උණුවෙන් මොනවා හරි කමු. උණුවෙන් මොනවාහරි කෑවම ඔබට සැහැල්ලුවෙන් ඉන්න උදව්වක් වෙයි.”

ෂිමාඕ කුඩා රෝද හතරේ සුබාරු වර්ගයේ මෝටර් රථයක් ධාවනය කළාය. කෙයිකෝ සසාකි ඇගේ අනික් පසින් වාඩිවූ අතර, කොමුරා මෝටර් රථයේ පිටුපස අසුන තමන් සතු කරගත්තේය. ෂිමාඕගේ රිය ධාවනයේ කිසිදු වරදක් නොතිබුන නමුත් රථයේ පසුපසින් නැගුණ ශබ්දය භයංකර විය. රථයේ කම්පන අවශෝෂක අන්තයටම ගෙවී ගොස්ය. මෝටර් රථය අවම වශයෙන් සැතපුම් ලක්ෂයක්වත් ධාවනය කර ඇති බව කොමුරාට සිතුනි. ස්වයංක්‍රීය සම්ප්‍රේෂණය අඩුවූ හැම විටම ගියරය පහළට වැටුනු අතර, හීටරයේ බ්ලෝවරයෙන් උණුසුමත්, සිසිලත් දෙකම ගලා ආවේය. දෑස පියාගත් කොමුරාට සිතුනේ ඔහු රෙදි සෝදන යන්ත්‍රයක ඇතුළත සිරගතව සිටිනා බවය. 

කුෂීරෝහි වීදිවල හිම එකතු වීමට ඉඩනොදුන් නමුත්, මඟ දෙපස තැන්තැන්වල අපිරිසිදු කුඩා අයිස් කඳු පැවතියේය. ඝන වූ වළාකුළු අතේ ගෑවෙන නොගෑවෙන දුරින් මෙන් පිහිටියේය. තවමත් හිරුපායා නොතිබූ අතර අවට පරිසරය අඳුරු හා පාළු ගතියෙන් යුක්ත විය. සුළඟ ඉතා දරුණු ලෙස නගරය පුරා හමා ගියේ නගරය එක මිටට ගෙන මිරිකා දමන අයුරිනි. මේ වනවිටත් කිසිවෙකු දකින්නට නොවිනි. කොටින්ම මාර්ග සංඥා එළි පවා සීතලෙන් මිදී ඇති අයුරකි.

“මේ හොකයිඩෝවල අඩුවෙන් හිමපතනය වෙන පැත්තක්” කොමුරා දෙස හැරී බලමින් උස් හඩකින් කෙයිකෝ පැහැදිලි කළාය. “අපි ඉන්නේ වෙරළ තීරයේ, ඒ නිසා හුළඟ හරි සැරයි, ඒකට අහුවෙන ඕනම දෙයක් ඉවතට වීසිකරන්න හුළඟට පුලුවන්. ඒක හරිම සීතලයි, ගල් ගැහෙන තරමට සීතලයි, හරියට ඔබේ කන් ගලවගෙන යනවා වගෙයි ඒ හුළඟ දැනෙන්නේ”

“සමහර විට ඔබ අහලා ඇති බීලා මත්වෙලා පාරෙම ගල්වෙලා මැරුන මිනිස්සු ගැන” ෂිමාඕ පැවසුවාය.

“මෙහේ වලස්සු බලන්න පුළුවන්ද?”

කෙයිකෝ කිංකිණි සිනහවක් සලා ෂිමාඕ දෙස බැලුවාය.“ වලස්සු!”

ෂිමාඕත් කිංකිණි හඩින් සිනාසුනාය.

“මම හොකයිඩෝ ගැන එතරම් දෙයක් දන්නේ නෑ” කොමුරා නිදහසට කරුණු කියන අයුරින් පැවසුවේය.

“මම දන්නවා වලස්සු ගැන හොඳ කතාවක්” කෙයිකෝ පැවසුවාය. “නේද ෂිමාඕ?”

“ඔව් හොඳ කතාවක්” ෂිමාඕ පැවසුවාය.

ඔවුන්ගේ කතාවට ඒ මොහොතේ නැවතීමේ තිත තැබුනු අතරේ, ඔවුන් දෙදෙනාගෙන් කිසිවෙකු යළි වලසා පිළිබඳ කතාව නොපැවසුවේය. කොමුරා ඒ කතාව කියන්නට ඉල්ලීම් කළේද නැත. ඔවුන් සිය ගමනාන්තයට ඉක්මනින්ම ළඟාවිය. එය අධිවේගී මාර්ගය අසල තිබූ නූඩ්ල්ස් අවන්හලක් විය. වාහනය රථගාලේ නැවැත්වූ ඔවුන් කඩය තුළට පිවිසියෝය.

කොමුරා බියර් එකක් සමඟ රාමන් නූඩ්ල්ස් බඳුනක් ආහාරයට ගත්තේය. අපිරිසිදු ස්ථානයක් වූ එය ජනයාගෙන් හිස්ව පැවතුනි, මේස හා පුටු රළු ස්වභාවයක් ගත්තේය. නමුත් රාමන් බඳුන ඉතා රසවත් විය. ඒ නිසාම ආහාරය අවසන් කළ විගසම කොමුරාට සැහැල්ලුවක් දැනුනි. 

“කොමුරා මහත්මයා මට කියන්න, හොකයිඩෝ වල ඔබ කරන්න කැමති දෙයක් තියෙනවද? මගේ සහෝදරයා කිව්වා ඔබ මෙහි සතියක් විතර නැවතිලා ඉන්නවා කියලා”
කොමුරා ඒ පිළිබඳව මොහොතක් කල්පනා කළත් ඔහු කරන්න කැමති කිසිමදෙයක් පිළිබඳව ඔහුට සිතාගත නොහැකි විය.

“උණුදිය උල්පතක් බලන්න කැමතිද? මම දන්නවා වැඩි දුර නැති ඒ වගේ පොඩි තැනක්”

“ඒක නම් නරක අදහසක් නෙමේ” කොමුරා පැවසීය.

“මට විශ්වාසයි ඔබ එයට කැමති වන බව. ඒක හරිම ලස්සනයි. වලස්සුවත්, වෙන මොකෙක්වත් ඇත්තේ නෑ.
කාන්තාවන් දෙදෙනා එකිනෙකා දෙස බලා නැවතත් සිනාසුණෝය.

“ඔබේ බිරිඳ ගැන මම යමක් ඇහුවට කමක් නැද්ද? කෙයිකෝ ඇසුවාය.

“ඒකට කමක් නැහැ”

“කවද්ද ඇය ඔබව හැර ගියේ”

“හ්ම්ම් භූමිකම්පාවෙන් දවස් පහකට පස්සේ, දැනට සති දෙකකට විතර කලින් වගේ” ‍
“ඒකට භූමිකම්පාවේ සම්බන්ධයක් තියෙනවද?”

කොමුරා හිස දෙපසට සැලුවේය. “ වෙන්න බැහැ. මම හිතන්නේ නැහැ”

“මට නම් තාමත් පුදුම කොහොමද ඒ දෙවල් එකිනෙකට සම්බන්ධ නොවෙන්නේ කියලා” සිය හිස මඳක් ඇල කරමින් ෂිමාඕ පැවසුවාය.

“ඔව්, ඒ සම්බන්ධය ඔබට දකින්න බැරි එක විතරයි” කෙයිකෝ පැවසුවාය.

“අන්න හරි” ෂිමාඕ පැවසුවාය. “ ඒ වගේ දේවල් නිතර වෙනවා”

“මොන වගේ දේවල්ද?” කොමුරා ඇසුවේය.

“මම දන්න කෙනෙකුටත් ඒ වගේ දෙයක් උනා.” කෙයිකෝ පැවසුවාය.

“ඔබ කියන්නේ සාකි මහත්මයා ගැනද?” ෂිමාඕ ඇසුවාය.

“හරියටම හරි” කෙයිකෝ පැවසුවාය. “ සාකී කියලා කෙනෙක් මේ කුෂීරෝ වල ජීවත් වෙනවා. ඔහුගේ වයස අවුරුදු හතලිහයි. ඔහු කොණ්ඩා සැකසුම් ශිල්පියෙක්. ඔහුගේ බිරිඳ ගිය වසරේ පිටසක්වල යානයක් දැක්කා. මධ්‍යම රාත්‍රියේ ඇය නගර සීමාවේ රිය ධාවනය කරන විට විශාල පිටසක්වල යානාවක් පිට්ටනියකට ගොඩබානවා දැක්කා. වූවූඌෂ්...!ඉතාම ළඟින්ම වගේ. සතියකට පස්සේ ඇය නිවසින් ගියා. එකපාරම අතුරුදහන් වුන ඇය ආපහු ආවේ නෑ. ඔවුන්ට කිසිම පවුල් ආරවුලක් තිබුනේ නෑ.”
“ඒ පිටසක්වල යානාව නිසාද?” කොමුරා ඇසුවේය.

“මම දන්නෑ ඇයි කියලා. ඇය එක්වරම පිටවෙලා ගිහින්. අඩුම තරමේ සටහනක්වත් තිබුනේ නෑ. පෙර පාසල් වයසේ හිටි දරුවන් දෙදෙනාත් දාලා ඇය පිටවෙලා ගිහින් තිබුනා. අද වෙනකම් කිසිම ආරංචියක් නැහැ.” කෙයිකෝ පැවසුවාය.  “යන්න කලින් මුළු සතියම එයා කළේ හමුවෙන හැමෝටම පිටසක්වල යානාවේ ලස්සනයි, සයිස් එකයි ගැන නොනවත්වා විස්තර කරන එක. “

ඇය කතාව නවත්වා මඳ විරාමයක් ගත්තාය.

 “මගේ බිරිඳ සටහනක් තියලා ගිහින් තිබුනේ” කොමුරා පැවසුවාය. “ඒ වගේම අපිට දරුවන් සිටියෙත් නැහැ”

“එහෙනම් ඔබ සාකි ට වඩා ටිකක් වාසනාවන්තයි” කෙයිකෝ පැවසුවාය.

“ඔව් ළමයි ඉන්නවා කියන එක සෑහෙන්න බරපතලයි” හිසින් එය අනුමත කරමින් ෂිමාඕ පැවසුවාය.

“ෂිමාඕගේ තාත්තා එයාව දාලා යනකොට එයාගේ වයස අවුරුදු හතයි” කෙයිකෝ එය පැහැදිලි කළේ ඇහිබැමි දෙක එකට ළංකරමිනි. “ඔහුගේ බිරිඳගේ බාල සොයුරිය එක්ක පැනලා ගියා”

පිරිස අතර නිහඩතාවයක් ඇතිවිය.

“ සමහර විට සාකි මහත්මයාගේ බිරිඳ පැනලා යන්න නැතිව ඇති, ඇයව පිටසක්වලින් ආපු අය අල්ලගත්තා වෙන්න පුලුවන්” මාතෘකාව වෙනස් කරමින් කොමුරා පැවසුවේය.

“ වෙන්න පුලුවන්” කණගාටුදායක අයුරින් ඇය පැවසුවාය. “ඒ වගේ කතා අපිට නිතරම අහන්න ලැබෙනවා”

“ඔබ කියන්නේ ඔබ වීථියක ඇවිද යන විට වලසෙකු පැමිණ ඔබව කාලා දානවා වගේ දෙයක්ද?” කෙයිකෝ ඇසුවාය. කාන්තාවන් දෙදෙනා සිනාසුනි.

නූඩ්ල්ස් කඩයෙන් පිටත්වූ තිදෙනා අසල තිබූ මධුසමය සඳහා වෙන්වූ  හෝටලයකට පැමිණියහ. එය නගර සීමාවේ සොහොන්කොත් ගල් තනන වෙළෙන්දන්ගේ කඩසාප්පු වලට අනෙක් පසින් මධුසමය සඳහා වෙන්වූ  හෝටල් පිහිටි අමුතු වීථියක් විය. ෂිමාඕ තෝරා තිබුණු හෝටලය පැරණි යුරෝපියානු මාළිගාවක ආකාරයට නිර්මාණය කළ අමුතු ගොඩනැගිල්ලක් විය. රතු පැහැති ත්‍රිකෝණාකාර ධජයක් එහි ඉහළම කුළුණ මත ලෙළදෙමින් තිබුනි.
පිළිගැනීමේ කවුන්ටරයෙන් යතුර කෙයිකෝ ලබාගත් අතර,  සියල්ලෝම සෝපානයෙන් කාමරයට පැමිණියහ. කාමරයෙහි වූ අසාමාන්‍ය ලෙස විශාල ඇඳට වඩා කාමරයෙහි තිබූ ජනෙල් ප්‍රමාණයෙන් කුඩා විය. සිය ජැකට්ටුව ගලවා හැඟරයක එල්ලූ කොමුරා වැසිකිළියට ගියේය. මේ අතරතුර කාලයේදී කාන්තාවන් දෙදෙනා බාත්ටබ් එක පුරවා, විදුලි බුබුළු තරමක් අඳුරුකර, හීටරයද දල්වා රූපවාහිනියද ක්‍රියාත්මක කර,ප්‍රාදේශීය අවන්හල්වල මෙනුපත්ද පරීක්ෂා කර, ඇඳට ඉහළින් වූ ලයිට් ස්විච්චයන්ද, මිනිබාර් එකේ වූ අයිතමයන්ද පරීක්ෂා කර බැලුවෝය.

“මේකේ අයිතිකාරයෝ මගේ මිත්‍රයින්” කෙයිකෝ පැවසුවාය. “මම ඔවුන්ට කීවා විශාල කාමරයක් සූදානම් කරන්න කියලා. මේක මධුසමය ගතකරන හෝටලයක්නේ, ඒත් ඒක ඔබට ගැටලුවක් නෙමෙයි නේද?”
“කොහොත්ම නැහැ” කොමුරා පැවසුවේය. 

“අඩු මුදලකට ලැබෙන ව්‍යාපාරික හෝටලයක කුඩා කාමරයක ඔබව හිරකරනවට වඩා මේක සාර්ථක වෙයි කියලා මම හිතුවා”

“මට විශ්වාසයි ඔබ හරි කියලා” කොමුරා පැවසුවේය.

“ඇයි ඔබ ස්නානය කරන්නේ නැත්තේ, මම ටබ් එක පිරෙව්වා”

කොමුරා ඇය පැවසූ ලෙසම කළේය. එය විශාල බාත්ටබ් එකකි. තනියම එහි ස්නානය කිරීම කොමුරාට අපහසුවක් ගෙනආවේය. මෙහි පැමිණි බොහෝ නව යුවළයන් එකිනෙකා වැළඳගෙන විශාල ටබ් එක තුළ ස්නානය කරන්නට ඇති බව කොමුරාට හැඟුනේය.

නානකාමරයෙන් එළියට පැමිණ ඔහු පුදුමයට පත්වූයේ කෙයිකෝ සසාකි පිටත්ව ගොස් ඇති බව දැකීමෙනි. නමුත් බියර් බෝතලයක් බොමින්, රූපවාහිනියද නරඹමින් ෂිමාඕ එහි තවමත් රැඳි සිටී.

“කෙයිකෝ ගෙදර ගියා” ෂිමාඕ පැවසුවාය. “ ඇය නැවත හෙට උදේ පැමිණෙන බව ඔබට කියන්න කිව්වා, ඒ වගේම නොකියා ගිය එක ගැන ඔබෙන් සමාව ඉල්ලන්න කියලා ඇය මට පැවසුවා. මේ බියර් එක බොමින් තව ටික වෙලාවක් මම මෙහි රැඳුනොත් ඔබට ඒක කරදරයක්ද?

“නැහැ” කොමුරා පැවසීය.

“ඔබට විශ්වාසද ඒක ප්‍රශ්නයක් නෙමේ කියලා”? සමහරවිට ඔබ කැමති ඇති තනියම ටිකක් නිදහසේ ඉන්න, තව කෙනෙක් ඉන්නකොට ඒක අපහසුවක් නේද?

එය ගැටලුවක් නොවන බව කොමුරා තරයේම කියා සිටියේය. සිය හිසකෙස් තුවායෙන් පිසදමමින්, බියර් බෝතලය පානය කරමින් ඔහු ෂිමාඕ සමඟ රූපවාහිනිය නැරඹුවේය. එය කෝබේහි භූමිකම්පාව පිළිබඳ විශේෂ පුවත් විකාශයකි. එකම දසුන් වරන්වර තිරෙයේ දිස්වුනි. ඇලවුනු ගොඩනැගිලි, ගිලා බැස තිබූ පාරවල්, හඩාවැටෙන මහලු කාන්තාවන්, ව්‍යාකූලත්වය හා ඉලක්කයක් රහිත කෝපයෙන් එය පිරී තිබුනි. වෙළඳ දැන්වීමක් තිරයට පැමිණි විට ෂිමාඕ දුරස්ථ පාලකයෙන් එය නිවා දැමුවාය.
“වෙලාව තියෙනකම් අපි කතාකරමු” ඇය පැවසුවාය.

“ඒක හොඳයි” කොමුරා පැවසීය.

“මොනා ගැනද අපි කතාකරන්නේ?”

“කාර් එකේ එන ගමන් කෙයිකෝත් ඔබත් වළහෙක් ගැන කතාවක් කිව්වා මතකද? ඔයා කිව්වා ඒක නියම කතාවක් කියලා”
“ආහ් ඔව්මයි” හිසින් එය අනුමත කරමින් ඇය කීවාය. “වළස් කතාව”

“ඔබට අවශ්‍යද ඒ කතාව මට කියන්න”

“අනිවාර්යයෙන්ම”

ශිතකරණයෙන් අලුත් බිර බෝතලයක් ගත් ඇය වීදුරු දෙකම බීර වලින් පිරෙව්වාය.

“ඒක ටිකක් අහන් ඉන්න අමාරු කතාවක්. කමක් නැද්ද කිව්වට” ඇය විමසුවාය.

කොමුරා හිස දෙපසට වනමින් "නෑ නෑ ඔයා කියාගෙන යන්න”  යැයි පැවසුවේය.

“නෑ මම කිව්වේ සමහර පිරිමි කැමති නෑනේ කාන්තාවෝ මේ විදියේ කතන්දර කියනවට”

“මම එහෙම කෙනෙක් නෙමෙයි”

“ඒක ඇත්තටම මට උන දෙයක් ඒ නිසා පොඩි අපහසුතාවයක් ඇතිවේවි”

“ඔබ කැමති නම් මම කැමතියි ඒ කතාවට සවන්දෙන්න”

“මම කැමතියි. ඔබ කැමති නම්” ෂිමාඕ පැවසුවාය.

“මම කැමතියි” කොමුරා පැවසුවේය.

"මීට අවුරුදු තුනකට කලින්- මම විශ්ව විද්‍යාලයට ගිය අලුත  එක්තරා පුද්ගලයෙක් එක්ක ප්‍රේම සබඳතාවයක් පැවැත්වුවා. ඔහු මට වඩා අවුරුද්දක් වයසින් වැඩි කෙනෙක්, එයා තමයි මම ඉස්සෙල්ලාම ලිංගිකව හැසිරුණු කෙනා. එක දවසක් අපි දෙන්නා උතුරු පැත්තේ තිබ්බ කන්දක් නගින්න ගියා.” ඇයි බියර් වීදුරුවෙන් උගුරක් බිව්වාය. “ඒක උස බෑවුමක් තිබ්බ, වලසුන්ගෙන් පිරි කඳුවැටියක්. අවුරුද්දේ මේ කාලේ වලස්සු ශිශිර නින්දට වැටෙන කාලේ, ඒ නිසා ආහාර හොයමින් ගමන් කළ උන් හරිම භයානකයි. සමහර වෙලාවට උන් මිනිස්සුන්ට පහරදීලා තිබුණා.

අපිට හමුවුනා දවස් තුනක අසීරු කඳුනැගීමක නිතරවුනු පිරිසක්. ඒ එක් අයෙක් අපිට සීනුවක් දුන්නා. අපි ගමන් කරන අතරතුර එය නාදකළ යුතු වුනා, ඒ වලසුන්ට මිනිසුන් සිටින බව අනතුරු ඇඟවීමට. වලස්සු සාමාන්‍යයෙන් මිනිසුන්ට අරමුණක් ඇතිව පහරදෙන්නේ නෑ. ඔවුන් වැඩිපුර මාංශ ආහාර නොගන්නා නිසා ඔවුන්ට මිනිස්සුන්ට පහර දෙන්න ඕන උනේ නෑ. ගොඩක් වෙලාවට වෙන්නේ තමන්ගේ පරිසරයෙදී හදිසියේම මිනිස්සු හමුවූ විට ඔවුන් පුදුමයට පත්වෙලා හරි කෝපයට පත්වෙලා හරි පහර දෙනවා. ඔබ සීනුවක් නාදකරමින් ගියොත් ඔවුන් ඔබව මඟහැර යනවා. ඔබට තේරුනා ද ඒක?”

 “ඔව් මට තේරුනා”

“ඉතින් අපි සීනුව නාද කරමින් ඉදිරියට ගමන් කළා. එක වෙලාවකදී අපි කවුරුත් නැති තැනකට ආවා. හදිසියේම එයා කිව්වා එයාට ඒක කරන්න ඕන කියලා...... මමත් ඒ අදහසට එවෙලේ කැමති උනා. ඒ නිසා මම කිව්වා මම කැමතියි කියලා. අපි පාරෙන් එහාට ගිහින් පඳුරු වලින් ආවරණය උන තැනකට ගියා කාටවත් අපිව දකින්න බැරි වෙන්න. ඒත් මං වලස්සුන්ට බය වුනා. මම කියන්නේ පොඩ්ඩක් හිතන්නකෝ ඔබ ලිංගිකව හැසිරෙමින් සිටින වෙලාවක වලහෙක් ඔබට පසුපසින් පහර දෙනවා කියලා, ඒක කොයිතරම් භයානකද? මට කවදාවත් එහෙම නම් මැරෙන්න ඕන නෑ. ඔබ කැමතිද?” 

තමන්ට ඒ ආකාරයට මියයන්න උවමනා නැති බවට කොමුරා ඇය සමඟ එකඟ විය.

“ඉතින් අපි එක අතකින් සීනුව නාදකරමින් ලිංගිකව හැසිරුනා. ආරම්භයේ පටන් අවසන් වෙනකම්ම ඩිලිංග්- ඩිලිංග්”

“ඔබ දෙදෙනාගෙන් කවුද සීනුව නාද කළේ?”

“අපි දෙන්නා මාරුවෙන් මාරුවට සීනුව නාදකළා. එක්කෙනෙක්ට මහන්සි උනාම අනත් කෙනාට මාරු කළා. ඒක හරිම විකාර වැඩක්. සම්පූර්ණ වෙලාවෙම ඒ වැඩේ කරන ගමන් සීනුව නාදකිරීම. දැනුත් ලිංගිකව හැසිරෙන සමහර වෙලාවල්වලට මට ඒක මතක් වෙලා හිනාත් යනවා.” 

කොමුරාද එයට සිනාසුනේය.

ෂිමාඕ අත්පොළසන් දුන්නාය. “ ඕහ්, ඒක නම් අපූරුයි” ඇයි කීවාය. “එහෙනම් ඔබට හිනාවෙන්නත් පුලුවන්”

“ඇත්තටම මට හිනාවෙන්න පුළුවන්.” කොමුරා පැවසීය. එහෙත් ඒ ගැන සිතූ විට තමන් මේ පළමුවරට සිනාසුනේ දිගු කාලයකට පසුව බැව් ඔහුට වැටහුනි. මම කවද්ද අන්තිමට හිනාවුනේ ඔහු කල්පනා කළේය.

“මම දැන් නෑවොත් ඔබට ඒක කරදරයක්ද?” ෂිමාඕ ඇසුවාය.

“නැහැ” කොමුරා පැවසීය.

ඇය ස්නානය කරන අතරතුර කොමුරා රූපවාහිනියේ විකට නලුවෙකු විසින් මෙහෙයවන M.C. වැඩසටහන නැරමුවේය. එම වැඩසටහන ඔහුට විහිළු වැඩසටහනක් ලෙස නොදැනුනේ වැඩසටහනේ වරදක්ද, ඔහුගේ වරදක් නිසාද යන්න ඔහුට සිතාගත නොහැකි විය. බියර් වීදුරුවක් පානය කරන ගමන් ඔහු මිනිබාර් එක හැර එයින් ඇට වර්ග අඩංගු පැකට්ටුවක් ගෙන විවෘත කළේය. ෂිමාඕ ස්නානය සඳහා දිගු කාලයක් ගතකළාය. අවසානයේ ඇය කෙටි තුවායක් පමණක් හැඳ එළියට පැමිණ ඇඳ අගිස්සේ වාඩිවූවාය. ඇඳ සිටි තුවාය ගලවා බිම දැමූ ඇය ඇඳේ ලෙස්සා ගොස් සෙමෙන් බැළලියක සේ  වැතිරී කොමුරා දෙස බලා සිටියාය.

“කවද්ද ඔබ ඔබේ බිරිඳ එක්ක අන්තිම පාරට ඒක කළේ?” ඇය විමසුවාය.

“ මම හිතන්නේ ගිය දෙසැම්බර් මාසේ අන්තිම වගේ”

“එදා ඉඳන් මේ වෙනකන් කරලම නෑ?

“නැහැ”

“වෙන කෙනෙක් එක්කහරි වත්?”

කොමුරා සිය දෑස් වසා හිස දෙපසට සැලුවේය.

“ඔයා දන්නවද මං හිතන දේ” ෂිමාඕ පැවසුවාය. “ඔයා ඔයාගේ ජීවිතේ මීට වඩා සැහැල්ලුවෙන් භුක්ති විඳින්න ඉගෙන ගන්න ඕන. මම කියන්නේ ටිකක් හිතන්න, සමහර විට හෙට භූමිකම්පාවක් වෙන්න පුලුවන්, නැත්නම් පිටසක්වලයින් ඔබව පැහැර ගන්න පුලුවන්. වලහෙක් කාලා දාන්නත් බැරි නෑ. කවුරුවත් දන්නේ නෑ හෙට මොනවා  වෙයිද කියලා”

“ඔව් කවුරුවත් දන්නේ නෑ හෙට මොනවා වෙයිද කියලා” කොමුරා එය ප්‍රතිරාව නැංවීය.

“ඩිලිංග්” ෂිමාඕ කීවාය.

කිහිපවරක් ෂිමාඕ සමඟ ලිංගිකව එකතුවීමට උත්සාහ කළ ඔහු  එය අතහැර දැමුවේය. මීට පෙර කිසිම විටෙක ඔහුට මෙසේ  සිදුව නොමැතිය. 
“ඔබ ඔබේ බිරිඳ ගැන හිතන්න ඇති” ෂිමාඕ පැවසුවාය.

“ඔව්” කොමුරා පැවසීය. එහෙත් සැබවින්ම ඔහු සිතමින් සිටියේ භූමිකම්පාව පිළිබඳවය. එහි ඡායාරූප එකින් එක හරියටම සලරූ දර්ශනයක් මෙන් ඔහු ඉදිරියේ මතුවී මැකී ගියේය. අධිවේගි මාර්ග, ගිනිදැල්, දුම, සුන්බුන් ගොඩවල් ඒවා අතර විය. ඔහුට ඒ නිහඬ රූපදාමය බිඳදැමිය නොහැකි විය.

ෂිමාඕ ඇගේ කන්පෙත්ත ඔහුගේ නිරුවත් පපුවට තද කළේය.

“මේ වගේ දේවල් වෙනවා” ඇයි පැවසුවාය.

“අහ්හ්”

“ඒකට ඔබට කරදරයක් වන්නට ඉඩදිය යුතු නැහැ”

“මම උත්සාහ කරන්නම් එහෙම ඉඩ නොදෙන්න.” කොමුරා පැවසීය.

“පිරිමි හැමවෙලේම ඒකට ඉඩ දෙනවා කරදර කරන්න”

කොමුරා කිසිවක් නොපැවසීය.

ෂිමාඕ ඔහුගේ තනපුඩු සමඟ සෙල්ලම් කළාය.

“ඔබ කිව්වා ඔබේ බිරිඳ සටහනක් තියලා ගියා කියලා”

“ඔව් මං කිව්වා”

“මොකක්ද ඒකේ කියලා තිබුනේ”

“ඇයි කියලා තිබුනා මා සමඟ ජීවත් වීම හරියට වාත කැබැල්ලක් එක්ක ජීවත් වෙනවා වගේ කියලා”
“වාත කැබැල්ලක්?” ෂිමාඕ ඇගේ බෙල්ල පිටුපසට හරවා කොමුරා දෙස බැලුවාය.

“මොකක්ද ඒකේ තේරුම?”

 “මගේ අභ්‍යන්තරේ කිසිවක් නැහැ කියන එක මං හිතන්නේ”

“ඒක ඇත්තද?”

“සමහරවිට” කොමුරා පැවසීය. “මට හරියටම විශ්වාසයක් නැහැ. සමහරවිට මගේ ඇතුළේ කිසිවක්ම නැතිවෙන්න පුලුවන්. ඒත් ඒ දේ මොකක් වෙන්න පුලුවන්ද?"

“ඔව් ඇත්තටම, ඒ ගැන හිතන්න, ඒ දෙය කුමක් විය හැකිද?. මගේ අම්මා සැමන් මාළුවාගේ හමට පිස්සුවෙන් වගේ ආස කළා. ඇය හැමවෙලේම ප්‍රාර්ථනා කළේ හම විතරක් තියෙන සැමන් වර්ගයක් තියෙන්න කියලා. සමහර වෙලාවට ඇතුළේ මුකුත් නැතිවීමත් වඩා හොඳ වෙනවා. ඔයා එහෙම හිතන්නේ නැද්ද?”

හම පමණක් සහිත සැමන් මාළුවෙකු කෙබඳු වනු ඇතිදැයි කොමුරා උපකල්නය කර බැලුවේය. ඇත්තටම යමක් එසේ පැවතියත් සම ඇතුළත වුවත් යමක් තිබිය හැකි නොවේද? ෂිමාඕගේ හිස ඉහළට ඔසවමින් දීර්ඝ හුස්මක් ගත් කොමුරා යළි ඇගේ හිස පපුව මතට පහත් කළේය. 

“ඒත් මම ඔබට මේක කියන්නම්” ෂිමාඕ පැවසුවාය. මම දන්නේ නැහැ ඔබේ අභ්‍යන්තරයේ යමක් තියෙනවද නැද්ද කියලා, ඒත් ඔබ අපූරුයි. මම ඕන ඔට්ටුවක් අල්ලනවා ඔබව තේරුම් අරගෙන ඔබ සමඟ ආදරයෙන් බැඳෙන්න ඕන තරම් කාන්තාවෝ මේ ලෝකේ ඉන්නවා කියලා.”

“ඒකේ එහෙමත් ලියලා තිබුනා”

“මොකක්? ඔබේ බිරිඳගේ සටහනේද?”

“අහ්හ්”

“ විහිළුවක් නෙමෙයි” සිමාඕ පැවසුවාය. ඇගේ කණ පැළඳි කරාබුව ඔහුගේ පපුවේ සමෙහි ඇතිල්ලුනේය.

“ඒ ගැන හිතද්දි මට මතක් වුනේ. අර මම මෙහේ අරගෙන ආපු පෙට්ටිය ඇතුලේ මොනවද තිබුනේ” කොමුරා ඇසුවේය.

“ඇයි ඒක ඔබට අපහසුවක් ඇතිකරනවද?”

“කලින් මට ඒක අපහසුවක් උනේ නැහැ. ඒත් දැන්. මම දන්නේ නැහැ. මට හිතෙනවා ඒක දැන් පටන් ගත්තා කියලා.

 “කවදා ඉඳන්ද?”

“මේ දැන් ඉඳන්”

“හදිසියේම?”

“ඔව් වරක් මම ඒ ගැන කල්පනා කරන්න ගත්ත වෙලාවේ ඉඳන් ”

“හදිසියේම ඔබට ඒක කරදරයක් උනේ කොහොමද කියලා මට හිතාගන්න බෑ”.
කොමුරා මොහොතක් සිවිලිම දෙස බලා සිටියේය. “මට පුදුමයි”

දෙදෙනාම සුළඟේ ශබ්දයට කන් යොමාගෙන සිටියේය. සුළඟ කොමුරා නොදන්නා තැනකින් පැමිණ වේගයෙන් තවත් නොදන්නා තැනකට හමා ගියේය.
“මම ඔබට කියන්නම් ඇයි කියලා” ෂිමාඕ පහත් හඩින් පැවසුවාය. “ඒ පෙට්ටිය ඇතුළේ තිබුනේ ඔබේ අභ්‍යන්තරයට අයත් දෙයක්. ඔබ ඒක මෙහෙට රැගෙන විත් කෙයිකෝට ඔබේ දෑතින්ම දෙනවිට ඔබ එය දැනගෙන හිටියේ නැහැ. දැන් ඔබට කවදාවත්ම එය ආපසු ලැබෙන එකක් නැහැ”. 

ඇඳෙන් නැගිටගත් කොමුරා පහළ නිදාගෙන සිටින කාන්තාව දෙස බැලුවේය. කුඩා නහය, කන්පෙත්තේ වූ උපන්ලප දෙක, නිහඩ වූ කාමරයේ ඔහුගේ හදවත ගැහෙන ශබ්දය වියළි අධික ඝෝෂාවක්ව ඇසුනි. ඉදිරියට නැමුණු විට ඔහුගේ ඇටකටු බිඳි යන බවක් ඔහුට දැනුනි. පසුවන තත්පරයෙන් පංගුවකදී ඔහු ඉතා ඇදහිය නොහැකි ප්‍රචණ්ඩ ක්‍රියාවක් කිරීමට ආසන්නව සිටින බව ඔහුට හැඟුනේය.

“මම විහිළුවක් කළේ” ඔහුගේ මුහුණ දුටු විට ඇය පැවසුවාය. “මගේ ඔලුවට එකපාර ආපු දේ මම කිව්වේ. ඒක මහ අප්‍රසන්න විහිළුවක්. මට සමාවෙන්න. ඒක පුද්ගලිකව ගන්න එපා. මම ඔබට රිදවන්න හිතුවේ නැහැ."

කොමුරා සංසුන් වන ලෙස තමන්ට ම බලකරමින් නැවත කොට්ටය මත හිස ගිලෙන්නට හැරියේය. ඔහු සිය දෑස් පියාගෙන ගැඹුරු හුස්මක් ගත්තේය. ඒ විශාල ඇඳ ඔහු වටා රාත්‍රී සාගරයක්ව විහිද ගියේය. ඔහුගේ හදවත් තවමත් ගැහුනේය. 

“දැන් ඔබට පොඩ්ඩක් හරි දැනෙනවද ඔබ දුර ගමනක් ආවා කියලා?” ෂිමාඕ ඇසුවාය.

“හ්ම්ම්. දැන් මට දැනෙනවා මම ගොඩක් දුර ගමනක් ආවා කියලා. කොමුරා අවංකවම පිළිතුරු දුන්නේය.

ෂිමාඕ සිය ඇඟිලි තුඩින් කොමුරාගේ පපුවේ සංකීර්ණ මෝස්තරයක් ඇන්දේ  මන්තරයක් මතුරන්නාක් මෙනි.

“ඒත් ඇත්තටම. ඔබ තාම පටන් ගත්ත තැනමයි ඉන්නේ” ඇය පැවසුවාය. 


Arthur Arambepola

unread,
Dec 26, 2023, 7:46:11 PM12/26/23
to ind...@googlegroups.com
කසළ සෝදකයාගේ විවාහය....

පැරිස් නුවර කසළ ශෝධකයන් විසින් මේ වසර (2023) මුල් කාලයේදී දියත් කළ වැඩ වර්ජනයක් පිළිබඳ ලිපියක් අමුණා තියෙනව.

මෙම වැඩ වර්ජනය දියත් කර තියෙන්නෙ විශ්‍රාම ගත යුතු වයස වසර 57 සිට 59 දක්වා වැඩිකිරීමට එරෙහිව. (ලංකාවෙ නම් වැඩි කරන්න කරන්න සේවකයො කැමතියි. ඒ රට වෙනුවෙන් සේවය කිරීමට ඇති උනන්දුව නිසා වෙන්න ඇති.)

මෙම ලිපියේ මා දුටු වැදගත්ම ඡේදය:
"
The CGT argues that the lower retirement age for sanitation workers – refuse collectors and sewerage workers – is justified because their life expectancy is between 12-17 years less than the average French person.
"
කථා රචකයා තම දුව තම මිතුරාගේ පුතුට විවාහ කර දීමේදී මෙයද සළකා බැලුවා නම් සුදුසුයි.



paris_garbage_workers_strike.pdf

Nissanka Rajapaksa

unread,
Dec 27, 2023, 5:10:02 PM12/27/23
to INDRAKA group
59
ඉස්සෙක්ගේ ඔලුවක්

- පවනි රාජකරුණා (අඩයාලමෙන්)

"මට හම්බුනා තමුසේ වගේ ඔලුව කන්නැති ගෑනියෙක්!"
 
ඔහුගේ වදන් මා වුන් තැනින් අල්වා හිස් කබල මුණින් ඇනෙන සේ පොලෙවේ ගැසිය හැකි තරමේ දරුණු ඒවා ය. මා නොසෙල්වුණ මුත්, දෙනෙත් ළා අවර්ණ පටලයකින් බොඳව යනු දැනිණි. පා ඉදිරියට තැබිය නොහැකි ඇසිල්ලක, පිටුපසට ගන්නටත් හිත හදාගනු නොහැකිව මම නෙතට උරා එන තෙත එහිම වියකාගන්නට අනවරත වෑයමක නිරතවීමි. හද පුරා පුපුරු ගසන පැන දහසකුත් අභිබවා එකම එක වදනක් මුවඟින් පිට පැන්නේ ය.

"ඇයි?"

පළමු පැනය නිශ්ප්‍රභා වී වාතලයට මුසුවෙත්ම දෙවැන්න මුවින් ගිලිහුණේ ය. එය හුදෙක් ස්ත්‍රීත්වය කැටි කොට ගත්තක් වග මම දැන වුන්නෙමි.

"ක...කවුද ඒ?"

මට අවැසි වූයේ ඒ තරඟකාරිය ගැන දැනගන්නටය. මට වඩා ඈ හොඳ වූයේ ඇයි දැයි දැනගන්නටය. පුරා සොළොස් වසක් මුළුල්ලේ මා පිරූ, නෛතික නොවූ පතිවෘතාව වෙනුවෙන් හිලව් වන්නට ඈ ළඟ ඇත්තේ මොනවාදැයි දැනගන්නටය.

" ත;මුන්ට ඒකෙන් වැඩක් නෑ සයත්නාරා! මේක ඉවරයි.... මං ඉල්ලන දෙයක් දෙන්නම්. දැන් මෙතනින් යනවා!"

මගේ මුවෙහි කොණක ඇදුණ උත්ප්‍රාසය පිරි හසරැල්ල ඔහු අදුරාගන්න ඇත. කවරෙකු හෝ වදන් වල සැරෙන් මා යටත් කරගන්නට තැත්කරන සෑම මොහොතකම මම එය මුවඟ සිත්තම් කරගතිමි. ඊට පුරුෂාධිපත්‍යයද මුසුව ඇත්නම් එය තවත් තීවෘ කරගතිමි. 

"කවුද ඒ?...." 
මගේ හඬ පෙරට වඩා සිහින්, ශීතල සේම භයංකාර වග ඔහු වටහාගත්තේ ය.ගැ/හැ;නියක වුව, අනවැසි තරමින් මෘදු නොවූ මා ගැන ඔහු තරම් තව දන්නා කෙනෙක් නොමැත්තේම ය.

"අ.. අනඟි.... අනඟි උත්පලා."

මම ඒ පුංචි හුරුබුහුටි කෙ;ල්ල මනසේ මවාගන්නට වැය කළ තත්පර කීපය, ජීවිතයේ මා වඩාත් තිගැස්සුණු මොහොත වග නොකියමනා ය. ඈ මීට වසරකට පමණ එපිටින් අප ආයතනයේ මල් සැකසුම් අංශයට මවිසින්ම අනුයුක්ත කරවූ ළාබාළ යුවතියකි. දින කීපයකට ඉහතදී, මා එහි ගිය විට පවා ඇය, ඈ විසින් ගොඩනඟන සුන්දරම මල් කළඹ මගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් සාදා දෙනන්නට පොරොන්දු වූවා මතකය. මගේ මදහස තව තවත් පුළුල් වූවද, දෙකොපුල් සේම කන් දෙපෙති පවා රත් පැහැයකට හැරුණේ ගිනියම් උණුසුමක් සංවේදනය කරවමිනි. සියල්ල ඉවසූවද, මට වංචාකරන්නන් පෙන්නන්නටම බැරිය.

මගේ සුරතෙහි ඇඟිලිතුඬු වේගවත් ගමනක යෙදී, ඇයට ඇමතුමක් දී, කිසිවක් නොවූ ලෙසින් සිනාසී, මෙහි කැදවන අයුරු තීක්ෂණ සෙල් රුවක් සදිසිව බලා සිටියේ ය. මොහොතකට ඒ රුව, මා මුලින්ම ප්‍රේමයෙන් බැඳුණ ඒ දාහත් වියැති යෞවනයාව සිහිකැදවූයේ ය.

ඔහුට පවුලක් තිබිණි. තිබුණ මුත් විසිරී ගොසිනි. එතෙර ගිය අම්මාට, බීමත් තාත්තාට, විවාපත් අක්කාට ඔහු ගැන බලන්නට වගක් නොවෙද්දී.... පාසලේ විනාශකාරීන්ගේ ලයිස්තුවේ ඉහළම තැනක ඔහුගේ නම වැජඹුණේ ය. නොලද ආදරය ඔහු සෙව්වේ රු;හිරු වැගිරෙන ගුටිබැටවලිනි. එය රග්බි කුසලානයක් දක්වා රැගෙන ආවේ මාය. පියාගේ අනුදැනුමද ඇතිව මත්වන්නට ඇබ්බැහිවී සිටි ඔහු, ඒ ගිනි වතුරෙන්ද, පෙනහළු පිළිස්සෙනා දුගදින්ද ඈත් කර දැමුවේ මාය. අධ්‍යාපනං භයංකාරං යැයි ඇදහූ අන්ධ භක්තික පෙම්වතා කැම්පස් යැවූ ආඩම්බරකාර පෙම්වතිය මමය. ඉනුත් නොනැවතී ඔහුගේම උත්සව සැලසුම් කිරීමේ ආයතනයක් පිහිටුවා, එය මේ තාක් දුර රැගෙන එන්නට දිවා රෑ නොතකා නිදිවරා වෙහෙස වූ පාදපරිචාරිකාව මමය. ඉතින් මට මෙසේ වී මදිය!

ඈ එනතුරු නොසිට සියල්ල ඔහුට සිහිපත් කරදිය යුතුයැයි මට සිහිපත් වූයේ හදිසියෙනි. ඔහු අහිමි කරගත නොහැකි වග මගෙ දුර්වල ගැ/හැනු හිත වැලපෙමින් ගුගුරනු මට ඇසිණි. කඳුළු වගුරමින්, ආදරය අයැදිය යුතු ය. අපි ලබන වසරේ විවාපත් වන්නට පවා සැලසුම්කර තිබියදීත්.... එ...එවිට? අසුරු සැණකින් ඒ යදම් සියල්ලක්ම බිදී විසිරී යාමට ඉඩදිය නොහැකිය.

එනමුත්.... මගේ ආඩම්බර ගැ:හැනු හිත ඒ වචන පේළිය මත තාණ්ඩව නැටුවේ ය. ආපහු ඔහු දෙස නොබලන්නට තරම් "ඔලුව කන ගැ;හැනියක ලෙස" හණ්වඩු ගැසීම කුරුරුය. එතරම්ම කටුකය.

මිනිත්තු කීපයක් ඇවෑමෙන් ඈ එහි ආවා ය. වසන්ත මදනළක් මෙන්, සිහින් ලාලිත්‍යවත් පියවරින් කෙළොලොල්ව ඇවිද ආවා ය. නො උස්, හීන්දෑරි ඇගේ කළු පැහැ ඩෙනිම් කලිසමට ආයතනික කමිසය මනාව ගැලපුණේ ය. දිගු සේදවත් කෙස්කළඹ පෝනිටේලයක් දමා ය. ළා වත්සුණු තැවරූ මුවඟ සිත්තමක් සදිසිව සුන්දරය. අයිති සියල්ල අහිමි කරන්නිය දෙසත් ඊර්ෂ්‍යාව නොදැවටුණු දෑසින් වර්ණනා මවන මසිත ගැන උපන් ආත්මානුකම්පාවකින් මා ළය පිරී යනු දැනිණි. මේ තරම් අවංක මනුසතෙකු වී ජීවය ලැබීම මා උපතින් ලද අවාසනාවකි.

තීක්ෂණ දුටුවනම පිබිදෙන නෙතු පියද, මා දුටු ඇසිල්ලේ එය මකාලන්නට දරන නොසන්සුන් වෑයමද දුටු මා කෝපගත යුතුව තිබිණි. එනමුත් සත්‍යය ඊටත් වඩා ගැඹුරු සේම, වේදනාකාරීය.අසම්මතයේ, තව හිතක් රවටා බන්ධනයට නතුවන දෙපාර්ශවයම වැරදිකරුවන්ය. මා හට ප්‍රේම නොකරන පි/රිමියෙකු රැකගැනීම දෝතට ගත් දිය පොදක් ළයට තෙරපවා සුරකින්නට දරන වෑයමක් තරමටම ඵල රහිතය. ඒ අන්ධකාරයෙන් පිරි යතාර්ථය අභිමුව මම වඩ වඩාත් සන්සුන් වීමි.  කිසිවෙකු මා පිළිනොගන්නා අවධියේ පටන් මා කෙරෙහි මා වෙත වු ගරුත්වය, අන් සියල්ල අභිබවා නැඟී ආවේ ය.

සිව් මහල් ගොඩනැඟිල්ලේ කාර්‍යාල ප්‍රධානීට අයත් මනරම් කුටීරය ඔහුගේ මගේත් ආශාවන් සංකලනය කොට තැනූවකි. ළා නිලට සුදු පැහැය මුසුවූ වටපිටාව සොදුරු සේම පිරිසුදු පෙනුමකින් යුක්තය.උක්ත දවසක ඔහු හා මේ සියලු දේ අවැසි පරිදි තෝරමින් වැය කළ පැය ගණනාව සිහිපත්ව මට හීල්ලිණි. 

"එන්න උත්පලා. ඇවිත් වාඩිවෙන්න!"

"එ....එපා මිස්! "

"එපා කියන්නේ එපා ළමයෝ!අනික තව ටික දවසකින් මටනේ ඔයාට මැඩම් කියන්න වෙන්නේ. ඉතින් ඇයි මේ බයවෙලා?"

මා මාරාන්තික ගැහැනියක වග නුඹලා සිතනු ඇත. නමුත් ඔවුන් එක්ව කළ වංචාව මගේ ආත්මය දැදුරු කරන්නට තරම් බලවත්ව නැඟී එද්දී.... මම මා වෙනුවෙන් සිටගත යුතුව තිබිණි. බියෙන් ගල්ගැසුණු පුංචි යුවතියව උරහිසින් අල්වා ඔහු අසුන් ගෙන වුන් සෝපාවෙහිම ඉන්දවා, මම ඔවුනට මුහුණලා ප්‍රධාන මේසයට වාරුවී දෑත් ළය මතින් බැඳගතිමි.

"මිනිස්සු ආදරේ කරන්න පුලුවන්. ඒ ආදරේ නැතිවෙන්නත් පුලුවන්. හැබැයි එක මනුස්සයෙක්ට ආදරේ කරනවා කියලා රඟපාන ගමන් තවත් ආදරයක් නඩත්තු කරන ගෑනු පි:රිමි මට පේන්න බෑ!"

පිපාසාවෙන් කතරක අතරමං වූ දැරියක පරිද්දෙන් ඇගේ දෙකොපුල් දිගේ දා බිඳු ගලා යමින් තිබිණි. සියල්ලට ප්‍රථම ඉස්සර කරගන්නා ගැ;හැනු කඳුළු බිංදුද නොනවත්වා නෙතින් ඉවතට වැගිරිණි. පිරිමි කැමති එවන් ළාමක ආත්මයන්ට වග මම දැනවුන්නෙමි. මෙතෙක් කල්.... මමද ඔහු අභියස ඒ තරම්ද අවිහිංසක හා ළදරු වීමි. තමන් ආදරය කරනා පිරිමියා අභියස ළදැරියක වීම කොයිතරම් නිදහස් හා සෙනෙහෙබරද යන්න මම දැනසිටියෙමි. නමුත් එක් නිමේෂයකින් මා ඒ අත්වළල්ලෙන් ඉවතට විසිවී අන් යුවතියක් එහි ලැඟුම් ගත් කම්පනය මවෙත ගෙන ආවේ එක් අඳුරු පණිවුඩයකි. තව දුරටත් මා ඔහුගේ නොවන වඟ පමණකි. ඉතින් මම උණුදියෙහි ලූ බිත්තරයක් පරිද්දෙන් වඩාත් තදින් මගේ හැඟුම් සියල්ල පාශාණභූත කරගතිමි.

"නා.... නාරා මැඩම්! අ...අනේ මට සමාවෙන්න. මට කවදාවත් සර්ව අයිති කරගන්න ඕනේ වුණේ නෑ මැඩම්ගෙන් අයින් කරලා. ඒත්.... ඒත් සමහර වෙලාවට සර් හරි දුකින් හිටියේ. මැඩම් ගාව නිදහසක් නෑ කිව්වා. මං කොහොම මේ වැරැද්ද කරාද කියලා තේරෙන්නෑ මැඩම්. අපි ආදරේ කළා විතරයි."

" ආදරේ හින්දා ම:නුස්සයෙක්ගේ හොර ගෑ;නි වෙන්න හිත හදාගන්න පුලුවන් වුණාද?"

විස කටුවක් හා සමව ඇගෙන් ගිලිහුණ වචන කිහිපයක් මා වේදනාවෙන් ඔත්පල කරද්දී.... හැකි තරම් තියුණු ස්වරයෙන් මම විවසුවෙමි. එසේ නම් ඔහුට නිදහස අවැසිවී ඇත. එතරම් අවැසි නම්, ඒ සරුංගලයට පියාඹන්නට ඉඩ දිය යුතුය. නූල අත් හැරිය යුතුය. ඉනික්බිති බැල්මකුදු නොහෙලා ආපිට හැරී ආ යුතුය.

" මම.... මම වෙන බ්‍රාන්ච් එකකට යන්නම් මිස්. ම... මගේ ජොබ් එක නැති කරන්න එපා!" 

" ජොබ් එක ගැන වදවෙන්න දෙයක් නැහැනේ උත්පලාට. ඕනේ හැටියට වියදම් කරන්න ක්‍රෙඩිට් කාඩ් හම්බෙලා තියෙන කොට!"

තිගැස්සි මා දෙස බැලූ ඔහුටත් වදනින් කම්මුල් පහර එල්ල කරමින්, මම මගේ වේදනාව ඔවුන් මතින් පිටකර හැරියෙමි. කලෙක පටන් මා වෙනුවෙන් වෙන් නොවනා කාලය, අවධානය සේම ත්‍යාගවල හිමිකම, මා කිසිකළෙක භාවිතා නොකළ තරම් දිගු බිල්පත්වලින් අවභාවිතා කරන්නියගේ හා ඔහුගේ ප්‍රේමයේ හරසුන් වග මැනවින් වැටහෙද්දී.... ගැරඩි හැවක් පාමුල සිටින්නාක් බදු පිළිකුළක් මා ගත වෙලාගත්‍තේ ය.මගේ ආලය මෙලෙස බාල්දු වනු බලා සිටින්නට නොහැකි වූ තැන, හැකි තරම් ඉක්මනින් ඔවුන්ගෙන් නික්ම යනු විනා අන් යමක් මට අවැසි නොවූ විනාඩි කීපයක් ගෙවී ගියේ ය.

" ආයේ හැංඟි හැංඟි ආදරේ කරන්න ඕනේ නෑ. මම තීක්ෂණ සර්ව සම්පූර්ණයෙන්ම උත්පලාට භාර දෙනවා.එහෙනම් දෙන්නාම සතුටින් ඉන්න!"

වෙන ලස්සන වචන කිසිවක්ම එවෙලෙහි මගේ මතකයේ නොගැවසුණේ ය. ඔවුන් තනිකර දමා, දොරටුවද වසා හිස් ගැහැනියක සේ මම ඉන් ඉවතට ඇදී ආවෙමි. 

"එයා ඔයාට ඇත්තටම ආදරේ කරලා නෑ බබාහ්.නැත්තම් ඔහොම මං ගැන දැනගත්තු පලියට ඔයාව මට දීලා දාලා යනවාද? මට එහෙම වුණා නම් හූනියමක් හරි කරලා!"

අනුන්ගේ කතාවලට සවන් දීම වැරදි බව දැන්  දැනත් මම මොහොතකකට වුන් තැනම නැවතුණෙමි. අවැසි වූයේ ඔහුගේ පිළිතුර කුමක්දැයි දැනගන්නටය. මගේම හෘද ස්පන්දනය මට ඇහෙන්නට සලස්වා ඔහු මුණිවත රැක්කේ ය. ඉදින් ඒ ඔහු මා ගැන දන්නා වගට නොකියා කියන සාක්ෂිය. මා නොවටිනා වග කෙනෙකු මා හට දැනෙන්නට සැලැස්සුව හොත්, එවන් පුද්ගලයින්ට ප්‍රථමව ඔවුන් අත් හැර දැමීම මගේ ප්‍රතිපත්තිය බව තීක්ෂණ මේ දොළොස් වස පුරාම අත්දැකීමෙන් දැන වුන්නේ ය. එය මේ තාක් හෝ අසීරු වූයේ මා ආත්මීයව පෙමින් බැඳී සිටි ඔහු අසලදී පමණකි.

ජීවිතයේ මට හිමිවූයේ තෝරාගැනීම් දෙකකි. දුවණියන් දෙදෙනෙකු හා පුතුන් දෙනෙකු ලෙසින් සෞභාග්‍යමත් සිව් නිවුන් දරු උපතකට හිමිකම් කියූ මධ්‍යම පාන්තික පවුලක පස්වෙනි දරුවා හෙවත් බඩ පිස්සිය ලෙසින් මම උපත ලැබීමි.බඩ පිස්සිය වූයේ අම්මා මගේ ඉපදීමෙන් අනතුරුව ඇගේ ගර්භාෂයම සීල් තබා වසාදැමූ නිසාය. මගේ සිව් සොහොයුරු සොහොයුරියන් මට වඩා අට වසකින් වැඩිමහලු වෙද්දී.... මා ඒ පවුලේ අනවශ්‍ය කොටස බවට පත්වුණේ නිරායාසයෙනි. යළිත් දරුවෙකු ගැන කිසිදු සුබ සිහිනයක් නොවූ මා පියන්ට මා අහඹු තිගැස්මකි.

"ආයේ බබාලා ඕනිම නෑ කියලා හිටියේ. දරුවෝ හතරක්ම ඉන්නවානේ. කොහෙද ඉතින් මෙයා හොරා වගේ ඇවිදින්!"

මා ඉදිරිපිට තබා පවසන මෙවන් වදන්වලින් කොතෙක් නම් මා විදවනු ඇත්දැයි ඔවුන් කිසිදාක නොදැනගනු ඇත. එනමුත් ළයෙහි විදාරිත ලෝදිය හැලියක් මෙන් ඒ වෙනස්කම් මසිත දවා හලුකළේ ය. යන්තමින් බහ තෝරන වියට විත් අක්කලා සමඟින් සෙල්ලමට යද්දී.... ඔවුන් ඔවුන්ගේ කාමරයෙන් මා පිටතට ඇඳ දමා දොරටුව වසා දැමුවෝ ය. අයියලා සැරවැර දමා මා පන්දුව හා පිත්ත අතරින් එලවා දැමුවෝ ය. මා ඉදිරිපිට වූයේ තෝරාගැනීම් ද්විත්වයකි. හැකි තරම් වැරවෑයමින් මා ඉවතට තල්ලු කරන්නන් අසලට ගොස් ඔවුන් හා එක්වන්නට ඉඩ දෙන මෙන් අයැදිය යුතුය. නැතිනම් මගේම ලොවක තනිවිය යුතුය. සහජයෙන් උරුම කරගෙන ආ අඩම්බරය සමඟින් මම දෙවැනි පිළිතුර තෝරාගතිමි. එබැවින් මා හැඩී වැඩුණේද, ඉගෙනගත්තේද හුදෙකලාවමය. කාලයක් ඇවෑමෙන් මගේ අධ්‍යාපනික දක්ෂතා දැක මාපියන් සතුටු වෙද්දී පවා, ඒ ගැන විශේෂ ප්‍රහර්ෂයක් නොදැනෙන තරමට මම ඔවුන්ගෙන් ඈත් වී සිටියෙමි. නවාතැන් පහසුකම් සපයන නිවාසවල නැවතෙමින් මගේ වැඩ තනිවම ඉටුකරගැනීමට හැඩගැසුණෙමි. මට උරුම ජීවිතය එසේ ය. බිඳුණු දැරියක වූ මා, මටත් වඩා බිඳී ගිය දෑවුරුදු වැඩිමහල් දරුවෙකුට කෝෂයෙන් පිටතට විත් සමනලයෙකු වනු පිණිස සවි ශක්තිය හිමිකර දෙන්නට වෙහෙස වූයෙමි. දොළොස් වසකට පසු, දැන් විසි හතවන වියෙහි අග භාගයෙහි පසුවන මට මං ගැන ආත්මානුකම්පාව මුසු සංවේගයක් දැනුණි. ගමන් වේගය අඩාලව.... මම ඔහුගේත් මගේත් ආයතනික භූමියේ විසල් ආරුක්කුවකට වාරු වූවෙමි.ඔහු කේන්ද්‍රීය කරගත් මගේ ලෝකය වෙනුවෙන් වෙහෙසුණ  විනා මා, මම වෙනුවෙන් කරගත් යමක් නොවුණේ ය.දැන් ඒ ලෝකය සබන් පෙන බුබුළක් සදිසිව අස්ථාවරව බිඳී ගොසිනි. මම හීල්ලුවෙමි....

මට උරුම මහල් නිවාසය කරා ආවේ කෙසේදැයි මතකයක් නොවෙද්දී... එහි පිරී'තිරී ඇති ඔහුගේත් මගේත් සෙනෙහසේ මතක පොදි එකි'නෙක හගිස්සවමින් මම මහ හඬින් හඬා වැටුණෙමි. ගර්වය පෙරට දමා රැකවල් යෙදූ කඳුළු වැල් මා පමණක් තනිවූ මොහොතේ මේඝයක් සේ කඩා හැලෙන්නට පටන් ගත්තේ ය. මම ප්‍රේම කළෙමි. පේවී ප්‍රේම කළෙමි. එනමුදු එයින් ඉතුරු වූයේ අතින් අල්ලාගත්  හැකි තරමට ඝනව මා වටා පැතිරගත් වේදනාවක් පමණකි. ඔහු එසේ කළේ ඇයි දැයි වටහාගන්නට නොහැකි වූ මගේ අහිංසක ගැහැනු හිත හම සුදුමැලිව රැළි වැටෙන තුරුම වතුර මල යට හඬා වැටෙන්නට කඳුළු ඉපැද්දුවේ ය. මම මුළුමනින්ම බිඳ වැටී සිටියෙමි. යාදිනියක බඳුව පසෙකට විසිවී ගිය මගේ කැබලිති වූ ආත්මයේ විලාපය අසා සිටිනු නොහැකිම තැන දෑතින් දෙසවන් වසා ගෙන මම ශීතල ටයිල් පොළොවෙහි නිරුවතින් ගුලිගැසුණෙමි.

" මට හම්බුනා ත;මුසේ වගේ ඔලුව කන්නැති ගෑනියෙක්!"

ඒ වචන මා නොමරා මැරුවේ ය. හැඬීමෙන් හෙම්බත් මම කුසගින්න නිසාම ගිනිගෙන දැවෙන උදර කුහර පුරවන්නට, තෙතැති නග්න ගත එලෙසින්ම දරා ශීතකරණය විවර කළෙමි. එහි ඉහළ තට්ටුවේ වූ ඉස්සන් ගබඩා කළ විනිවිධ පෙනෙන බඳුන දෝත දරා ගන්නට සිතුණේ ඇයි දැයි අදටත් පෙහෙලිකාවක් වූවද, මම ඒ සිතුවිල්ලට අදටත් ස්තුතිවන්ත වෙමි.හැඟීම් විරහිත වතින්, වෙව්ලමින්, මම යාන්ත්‍රිකව ඔවුන් ශුද්ධ කළෙමි. හිස කොටස උයන්නට තබා ගෙන, පුෂ්ටිමත් කවන්ධය කුණු බඳුනට විසි කළෙමි. ඔව්! එදා රෑ මම උමතු ලියක පරිද්දෙන් ඉස්සන්ගේ ඔලු ඒ අතුණුබහන්ද සමඟ කෑමට පිළියෙළ කරගතිමි.  එය පළඟානකට බෙදාගෙන විත් පොරෝනයකින් ගත වසා ගෑරුප්පුවක්ද සමඟින් ඒ අභියස අසුන් ගතිමි.

මුවට ගත් පළමු කටද ඔක්කාරය දනවද්දී, මම නිර්භීතව දෙවන්නද දසන් අතරට සිරකර ගතිමි. ජුගුප්සාජනක පිළිකුළෙන් යුතු තිත්ත රස මගේ මුඛය අරා නැඟ එද්දී උදරය කලතා ඉහළ එන වමනය වළකාගන්නට නොහැකිව නාන බේසමට හිස යොමා මම ආමාශය සේම අන්ත්‍රයද කළඹා එහි වූ සියල්ලම වමනය කළෙමි. අවසන සැනසුමක් දැනුණි. සියල්ල තේරුම්ගන්නට හැකි වීමෙන් උපන් සැනසුමෙන් මම නිවී ගියෙමි.

මම ඔහුගේ ඔලුව කෑ බව සැබෑවක් යැයි  පිළිගනිමි. නමුත් සැඟවූ කටුක යථාර්තය වූයේ, එය කෙසේවත් රසැති නොවූ බවය. එහි වූ අමන කටුක රස පිළිකුළෙන් තොරව අනුභව කර, මම ඔහුව හිසෙහි මළපහ පුරවාගත්තෙකුගෙන්, මිළාධික ඉස්සෙකු බවට පත් කළෙමි. සමාජයේ විනාශයට හේතුවන්නෙකු බවට ගුරුවරුන් දිවුරූ අයෙකු තවත් මිනිසුන්ට රැකියා දී ඔවුන්ගේද ජීවිත සමෘද්ධිමත් කළ හැක්කෙකු කළෙමි.අක්මා පටක එකක් හෝ නොමැතිව මියැදෙන්නට ගිය තුරුණු කයක් මවිසින් දේහධාරී කඩවසම් රුවක් බවට පරිවර්තනය කළෙමි. ජීවිතයේ මෙතෙක් ආ දුර, ඔහුට වැරදෙන්නට ගිය සෑම නිමේෂයේම මම ඔහුගේ ඔලුව කමින්, ඔහුව යහමඟෙහි ගමන් කරවීමි. 

රණ්ඩු සරුවල් නොමැති, සිය පෙම්වතිය දියණියක මෙන් රැකබලාගන්නා පෙම්වතෙකුට මම පෙරුම් පිරූ බව කිසිදාක ඔහු දැන නොසිටින්නට ඇත. ඔහු හා වදන් හුවමාරුවන සෑම නිමේෂයකම මගේ ළයද සීරී රුහිරු වැගිරෙනු ඔහුට නොපෙන්නෙන්නට ඇත. ඔහු නිසාවෙන් වෙහෙසෙන හදවත ඒ පුංචි ජයග්‍රහණ අභියස පවා ඔපවත් වන අයුරුද ඔහුට අමතකව යන්නට ඇත. අවසන.... මම ඔලුව කන ගැහැනියක වී, ඔහු ළඟ සුරතල්ව,නොදැනෙන්නට සියල්ල  සූරාකන යුවතිය සුරගනක් වී ඔහුට දැනෙන්නට ඇත.

ඊට කම් නැත. මම වැරදි නැති බව මටම වැටහී යාම ප්‍රමාණවත් ය. ඉතින් පෙම්වත.... නුඹ වෙනුවෙන් දියකළ හල ජීවිතයේ මා වෙනුවෙන්ද හරයක් සොයන්නට මා දැන් නික්ම යා යුතුව ඇත. නුඹේ අනාගතය ගැන සෝබර වූ ළය දරා නිහඬ වතින් නික්ම යා යුතුව ඇත....

අවාසනාවන්ත පණිවුඩවලට අත්තටු ඇති වග සැබෑවකි. ඊළඟ දින වන විට ආයතනයේ සියල්ලෝම පාහේ මේ අසුභාරංචිය දැන සිටියෝ ය. ඔවුන් මා හඳුනයි. ඒ මුහුණු ඒ තරම් තදින් පියැවී සිහින් රේඛා පවා වේදනාවෙන් වර්ණ ගැන්වී ඇත්තේ එබැවිනි. මම නොසැලුණු වතින් මගේ අවසාන රාජකාරිමය හමුවට සහභාගී වුණෙමි. පහළ මට්ටමේ සුදුසුකම් සහිත මල් සකසන්නියක මිළාධික සාරියකින් සැරසී එහි මුළසුන හා සමව අසුන් ගෙන සිටියදී, මම සන්සුන්ව ඔවුන් අමතා ආයතනයේ ප්‍රගමනයට මින් ඉදිරියට ගතයුතු ක්‍රියාමාර්ග ගැන සවිස්තරාත්මකව පැහැදිලි කළෙමි. අතට අත දෙමින් ආයතනික ප්‍රධානීතුමාගේ නවමු දිවියට සුභාශිංසන එක්කර, මෙතෙක් මෙහි මා සතුව තිබූ අයතනයේ කොටස් සියල්ලම මංගල ත්‍යාගය ලෙස පිරිනමන බව පැවසූවෙමි. ඔහුගේ වේදනාවෙන්ද, සාංකාවෙන්ද, පසුතැවීමෙන් හා අහිමිවීමේ අවිනිශ්චිතතාවයෙන් පිරි මුහුණ දෙස වරක් තියුණුව බලා, මගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී එතැනින් නික්ම ආවෙමි. නවමු මැතිණියගේ උද්දච්ච හැසිරීම සේම මට වූ අසාධාරණය දැන දැන එහි සේවයෙහි නිරත වීම නිරයට යාම හා සම වූවද, අන් කළ හැක්කක් නොවු නිසා මට සමුදී රැකියාව තෝරාගත්  රිදුම් පිරි මුහුණු දෙස අවසන් වරට බලා, මම බිඳී ගිය මුත්, නොපසුබස්නා ආත්මශක්තියෙන් හෙබි ගැහැනියක මෙන් ඉන් පිටව ආවෙමි.

එහි, තීක්ෂණ ඉවෙන්ට් මැනේජ්මන්ට්හි මගේ හොඳම යෙහෙළියක වූ කුමුදුණීව යළි මට මුණ ගැසුණේ ඉන් අට වසරක් ඇවෑමෙන් ජපානයේ මගේ සුප්‍රසිද්ධ 'නාරාා'සීෆුඩ් අවන්හලේ පස්වෙනි සංවත්සරය වෙනුවෙන් පැවැති රාත්‍රී සාදයේදීය. රත් පැහැයට රිදී පැහැයෙන් කැටයම් මැවූ, උරහිස් නිරාවරිත දිගු ගවුමකින් සැරසී, නොවියැකුණු තාරුණ්‍යයද කැටුව, මා විසින් මට උපයාගත් උරුමය දෙස නිහතමානී ආඩම්බරයකින් බලා හිදිනා මා අසල ඈ අසුන් ගත්තේ අහම්බයකිනි.

"දෙයියනේ සයත්නාරා මැඩම්! හස්බන්ඩ් කොච්චර කිව්වාත් මම නම් හිතුවේ නෑ  මේ තැන මැඩම්ගේ කියලා. අන්තිමේ මේ පාර එයා එක්ක මාත් ආවා ලංකාවේ ඉදන් මැඩම් බලලා යන්නම!!"

ඈ සතුටින් පොපියමින් කෑගැසුවේ මා මේතරම් දුරක් තනිව ආ වග විශ්වාස කරන්නට නොහැකි ආසියානු යැපුම් ස්ත්‍රීත්වයේ ආභාසය වදන්වලද අමුණා තබමිනි. සෝයා සෝස් දමා තෙම්පරාදු කළ ප්‍රණීත ඉස්සන් බඳුනක් රසවිදිමින් වුන් මම ඇයද මා අසලින් අසුන්ගන්වා ගත්තේ සන්සුන් සිනාවක් දෙතොලතර මවාගනිමිනි. අපේ සංවාදය අතීතය සිට වර්තමානය තෙක් ඇඳී ගියේ කාල යන්ත්‍රය ගැන වගක්ද නොමැතිවමය.

" මැඩම් මැරි කළේම නැද්ද?"

මම හිස සොලවා ඇයට නැතැයි පවසද්දී, කුමුදුනී හුස්ම ඉහළට ඇද හීල්ලුවා ය.

"අපරාදේ.... බලන්නකෝ අද මැඩම් ඉන්න ලස්සන! මෙහෙන්ම මැරි කරලා, දරු පැටියෙක් හදාගන්න මැඩම් තව පරක්කු කරන්නේ නැතුව!"

" දැනටත් මං ගාව දරුවෝ කීපදෙනෙක් ඉන්නවා කුමුදුනී. එයාලාව රැකබලාගන්නේ මම. එයාලා මට කතාකරන්නේ අම්මා කියලා!"
මම පිරුණු හැඟීමෙන් පිළිතුරු ඇමිණුවෙමි.

" ඒත් ඉතින් තරුණ වයසනේ. අනික ලස්සන නෑ කියලාද?ඉස්සරට වඩා හැඩයි දැන්! ඇක්ට්‍රස් කෙනෙක් වගේමයි!"

"එක ම;නුස්සෙක් ගාව ඇහැරුණ හැඟීම් තවත් කෙනෙක් ගාව ඒ විදිහටම ඇහැරවන්න මට තාම බැරි වුණා කුමූ. එහෙම පුලුවන් අය ඉන්න බව මම දන්නවා. ඒත් මට බැරිවුණා. අතීතයේ තුවාල එක්ක තව කෙනෙක්ට ළංවෙලා ඒ ජීවිතෙත් විනාස කරන්න තරම් මම දුර්වල ගෑනියක් නෙවෙයි!"

මගේ පිළිතුර සමඟ මුණිවත රැකි ඈ යළි හඬ අවදි කළේ නිහඬව ආහාර රසවිදින්නට වැය කළ මිනිත්තු කීපයක් හමාරවය.

" මැඩම් ගිහින් ටික කාලෙකින්ම තීක්ෂණ සර්ට තේරුණා කරගත්තු මෝඩකමේ තරම. අර ගෑ;නි සර්ගේ අන්තිම සතේට එනකම් හූරාගෙන විගඩම් නැටුවා මිසක්, මැඩම්ට වගේ ඉස්සරහ ගැන අයිඩියා එකක් තිබ්බ කෙනෙක් නෙවෙයිනේ. අන්තිමේ කම්පැනි එකත් නැතිවෙලා සර් හිඟන්නෙක් ගාණට වැටුණාම දරුවෝ දෙන්නවත් අතෑරලා උන්දෑ වෙන ලොකු අත්තක එල්ලුණා!"

මා දෙතොල්පෙති සොලවා සිහි  සිනාවක් පමණක් පා කර නිශ්ශබ්ද වූයේ ඒ ගැන මා දන්නා බව හඟවන්නටය. එසේම එවැන්නකින් අමුතු යමක් නොදැනෙන්නට මා ඔහුව හිතින් අතැර ඇති බව කියා දෙන්නටය. අත් හැර දමන්නට උගහට වන්නේ මගේ දොලොස් වසරක ප්‍රේමය මිස, එය කුණු මාලු කැබැල්ලක් මෙන් ඉවතට විසි කර දැමූ ගුණමකු තරුණයා නොවේ.

කුමුදුණී එවර මා සවන් පෙති වෙත පහත් වූයේ රහසක් අසා දැනගන්නට මෙනි.

" ඔය සිද්ධිය වෙලා දැන් අවුරුදු දෙකක් විතර. ඊට ටික කාලෙකට පස්සේ බබාලාත් එක්කම තීක්ෂණ සරුත් අතුරුහදන් වුණා. හැමෝම කිව්වේ සර් සයත්නාරා මැඩම් හොයාගෙන ජපන් ආවා කියලා!"

"ඔව්....ඒක ඇත්ත. එයා මගෙන් වැද වැටිලා ඉල්ලුව  එයාට තව අවස්ථාවක් දෙන්න කියලා. දැන් ඒ දුවලා දෙන්නා ඉන්නේත් මං ගාව!"

"දෙවියනේ.... ඒ.... ඒ කියන්නේ මැඩම් සර්ව මැරි කරනවාද?"

ඇගේ විස්මයෙන් විසල් වූ මුවට පුෂ්ඪිමත් ඉස්සෙකු ඇතුළු කර, තවකෙකු ලී කූරෙහි අමුණා මගේ මුවට දමාගන්නා අතර ම මම මගේ කටහඬ අවදි කළෙමි.

" කුමූ දන්නවාද.... තීක්ෂණ මාව අත් හැරියේ මම එයාගේ ඔලුව කන ගෑ;නියක් කියලා. ඒත් එයාට අමතක වුණා එයා ඉස්සෙක් වගේ මනුස්සයෙක් කියනෙක. ඉස්සෝ කොච්චර වටිනවා වුණත්, ඒ වටිනාකම ලැබෙන්න නම් මුලින්ම ඒ ජරාව පිරිච්ච ඔලුව අයින් කරලා ඉන්න ඕනේ. මගේ ජීවිතෙන් අවුරුදු දොළහක් මම එයාගේ ඔලුව කනවා කියලා කරේ ඒ ජරාව අයින් කරපු එක.හැබැයි තීක්ෂණට ඒක තේරෙන කොට එයා හුඟක් පරක්කුයි. එයා මාව අතෑරිය දවසේ මම උන්ගේ ඔලු කාලා බැලුවා.පුදුම තරම් අප්පිරියා රහක්!එදා ඉදන් අද වෙනකම්.... කවදාවත් මේ රෙස්ටුවරන්ට් එකේ උයන්නවත් මම ඉස්සෝ ගේන්නේ නෑ ඔලු අයින් කරලා මිසක්!"

"එ...එතකොට තීක්ෂණ සර්?"

" මාව එපා කියපු මනුස්සයෙක්ව ආයේ ජීවිතේට වැද්ද නොගන්න තරම් මම කශේරුකාව හයිය ගෑ/නියක්. හැබැයි අර අහිංසක දරුවෝ දෙන්නා ඒ දේවල්වලට පළි නෑ. මම එයාලාවත් බලාගන්නව, උගන්නනවා. තීක්ෂණ ඒ වෙනුවෙන් මං ගාව රස්සාවක් කරනවා!"

කෝන් පිටි තවතා ගැඹුරු තෙලෙහි බැදගත් ඉස්සෙකුද මුවට ගත් මම ඒ මිහිරි රස, මගේ රසාංගුලිකා තුළින් හදවතට ඇදගන්නා අයුරු නෙතු අඩවන් කර රසවින්දෙමි. මේ වසර අට පුරාවට....   ඔලු ඉවත් කර, විවිධ රසයෙන් පිසගත් ඉස්සන් මගේ ප්‍රියතම ආහාරය වී ඇතුවාක් සේම, එය මගේ අවන්හලේ ජනප්‍රියම භෝජනය ද වී ඇත්තේ ය.

"එයා හොක්කයිඩෝවල ඉඳන් මෙහෙට එවන්න ඉස්සන්ගේ ඔලු කඩනවා!"

Nissanka Rajapaksa

unread,
Dec 28, 2023, 6:06:39 PM12/28/23
to INDRAKA group
60
නුවණැති මායාකාරියකට ජීවිතෝපදේශ

- නයිජීරියානු ජාතික ෆ්‍රෑන්ක්ලින් උසෝවාගේ  LIFESTYLE GUIDE FOR THE DISCERNING WITCH නැමැති කෙටිකතාවේ පරිවර්තනය
මොහාන් ධර්මරත්න විසිනි. 


ඔබ ඔබේ මවගේ එකම දරුවා වනු ඇත. නිවාඩු දිනවල ඔබේ මෑණියන්ගේ නිවසේදී ඔබේ අත්තම්මා ඇගේ දියණියට පුතෙක් ලබාදෙන්නැයි දෙවියන් යදින හැටි ඔබේ කන වැකෙණු ඇත. ඒත්, ඔබෙන් පසු ඔබේ මව නැවතත් ගැබ් නොගනු ඇති අතර, ඈ ඇගේ ගර්භාෂය මායාකාරියන්ගේ සංසදයට කෑම පිණිස දුන්නේ යැයි ඔබේ පියාගේ පවුලේ අය ඈට චෝදනා කරනු ඇත.  මේ චෝදනා මුල්වරට අසන ඔබේ ළමා සිතට නැ‍ඟෙනු ඇත්තේ, විශාල කෑම මේසයක් වටා හිඳගත් ස්ත්‍රීහු පිරිසක් සහ ඒ මේසය මැද තැබූ විශාල පීරිසියකි. පාසලේදී ඔබ දැක තිබෙන, ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය යනුවෙන් තද කලු අකුරින් උඩින් ලියා ඇති රූපසටහනේ දැක්වෙන විදියේ ගර්භාෂයක් ඒ පීරිසිය මත තිබෙනු ඇත. මේ ගර්භාෂයට තිබෙනු ඇත්තේ බැදපු කුකුළුමස්වල වැනි තද දුඹුරුපාට වයනයකි. කෑම මේසයේ මුල් පුටුවේ සිටින ඔබේ මව ගර්භාෂය කෑලිවලට කපා, එක් එක් කෑල්ල කුඩා පිඟන්වල තබා ඉන් එකක් බැගින් ගැහැනුන් හැමදෙනාටම බෙදා දෙනු ඇත. පිඟන් ලබාගන්නා ගමන් ඔවුහු ඈට ස්තුති කරනු ඇති අතර, ඇගේ ගර්භාෂය එසේ දීම කෙබඳු දෙයක්දැයි ඔබ කල්පනා කරනු ඇත.

ඔබව මඟහැර සිටින්නැයි ඔබේ පියාගේ පවුලේ උදවිය ඔවුන්ගේ ළමුන්ට කියනු ඇත. මන්ද යත්, ඔවුන් හා බෙදාගන්නැයි කියා ඔබේ මව ඔබට දෙන රසකැවිලි හරහා ඔවුන්වද මායාකාරියන්ගේ කණඩායමට බඳවාගනු ඇතැයි කියාය. මේ හේතුව නිසා ඔබ වඩා නිශ්ශබ්ද, තනි ළමයකු වනු ඇත. ඔබේ නෑදෑ ළමුන් තරම් ඔබ සෙල්ලම් නොකරනු ඇතිවා මෙන්ම, කරන සෙල්ලමක් වුව ඔබ කරනු ඇත්තේ තනිවමය. ඔබේ අන්තර්වර්තිකබව නිසා ඔවුන් ඔබේ මවට දෝෂාරෝපණය කරනු ඇත්තේ ඈ ඔබවත් ඇගේ මායාකාරියන්ගේ සංසදයට ඇදගන්නේ යැයි කියමින් වන අතර, ඒ කතාව සනාථ කිරීමට ඔවුන් ඔබ කුඩා කාලයේ නිරන්තරයෙන් දුටු බියජනක රාත්‍රී සිහින ගැන කියනු ඇත. කිසිවෙක් ඔබ සමග සෙල්ලම් නොකරන නිසා, ඔබ සිතින් මවාගෙන සෙල්ලම් කරන මිතුරු මිතුරියන් මළගිය ආත්ම විය යුතුය. මේ ප්‍රශ්නය ගැන කතාබහට ලක් කළ පවුලේ රැස්වීමකින් පසුව ඔබේ බීමත් පියා ඔබට පහර දෙනු ඇති අතර, මව ඔබ බේරාගන්නට ඉදිරිපත් වන විට ඈ ‘මායාකාරියක්’ යැයි කියාසිටිනු ඇත. ඊළඟ දවසේ ඔහු ලැජ්ජාවෙන් ඔබේ දෑස් මඟහැර යනු ඇති අතර, ඔබටත් අම්මාටත් වටිනා තෑගි - වචනයෙන් නොකී කනගාටුව පළකිරීමක් - දෙනු ඇති නමුත්, ඔහු අසලක සිටින අවස්ථාවල ඔබ ඔබේ පාරිකල්පනික මිතුරන් හා සෙල්ලම් කිරීම නවතා දමනු ඇත.

මේ කටකතා පාසල කරාද පැමිණෙනු ඇති අතර, ළමුන් ඔබව මඟහරිනු ඇත. ඔබ එවැනි තනිකිරීමකට ඒ වන විටත් හුරු පුරුදු වී සිටින අතර, ඔබේ පාරිකල්පනික මිතුරන් පසුකර ඔබ වයසින් වැඩෙද්දී විනෝද වීමට ඔබට ඔබේ සිත පමණක් සෑහෙනු ඇත්තේය. ඔබ ඔබ සමඟම තනිව විනෝද වීමට කෙතරම් හුරුපුරුදු වනු ඇත්දැයි කිවහොත්, වඩා නිර්භීත ළමුන් ඔබ සමඟ මිතුරු වීමට උත්සාහ කිරීම ඔබ දකිනු ඇත්තේ ඔබට බාධා කිරීමක් ලෙසිනි. ඒ නිසා සමහරු ඔබ මායාකාරියක ලෙසද, සමහරු ඔබ ඉහළ පැලැන්තියේ උන් පමණක් ඇසුරු කරන ආඩම්බරකාරියක ලෙසද දකිනු ඇත. කටකතාවලින් හොඳක් ද සිදුවනු ඇත: ගුරුවරු ඔබට දඬුවම් කිරීමට මැලිවනු ඇත. කෙසේ නමුදු අතරින් පතර සිටින බෝර්න්-එගේන් ක්‍රිස්තියානිය අදහන ගුරුවරයෙක් තමාගේ ආගමික විශ්වාසය තහවුරු කිරීමට මෙන්ම, අනෙක් ගුරුවරු ඉදිරියේ නිර්භීතබව ප්‍රදර්ශනය කිරීම සඳහාද පොඩි වරදකට වුව ඔබට පහර දෙනු ඇත. 

මේ අතර ඔබ ඔබට යහමින් තිබෙන කාලය පොත් සමඟ ගතකොට පාසලේ වැඩ ඉතා හොඳින් කරනු ඇත. ගෙදර තත්වය නම් එන්න එන්නම නරක අතට හැරෙනු ඇත. ඔබේ පියාගේ පවුලේ උදවිය වැඩි වැඩියෙන් රැස්වීම් පවත්වනු ඇත. මේ රැස්වීම්වලට ඔබ ඉත්මනින්ම හුරු වනු ඇත. ඔබේ පැවැත්ම නොවැදගත් සේ සලකමින්දෝ, ඔවුන් ඔබේ අම්මා වඳ ගෑනියෙකැයි කියනු ඇත. ඔබේ පියාට තවත් දරුවන් උවමනා බව ඔවුන් කියනු ඇත. තවත් ‘දරුවන්’ යැයි කීවද ඔවුන් අදහස් කරන්නේ ‘පුතෙක්’ බව පැහැදිළිය. මායාකාරියන්ගේ සංසදයකට කැප කරනු ලැබූ එකම දරුවකු විතරක් ඔහුට සිටිය නොහැකිය. ඔවුන් ඔබට ‘මායාකාරිය’ යැයි කියනු ඇති නමුත් එහි නියම තේරුම වනු ඇත්තේ ‘කෙල්ල’ යන්නය. ඔබේ පියා තවත් ගෑනියක ගෙනා යුතුය.

බොහෝවිට ඔබේ නිවසේ පැවැත්වෙන එවැනි රැස්වීම්වලදී ඔබේ පියා නිශ්ශබ්දව හිඳිනු ඇත. ඔහු ඔහුගේ නෑයින් සමඟ එකඟවීමට හෝ විරුද්ධවීමට නොයනු ඇත. ඔහු ඔබවත් ඔබේ අම්මාවත් ආරක්ෂා කර නොගන්නේ මන්දැයි ඔබ කල්පනා කරනු ඇත්තේය. අම්මාගේ හැසිරීමද ඊටත් වඩා ගැටලුකාරී බව ඔබ දකිනවා ඇත. ඇගේ පවුල කඩාදමන්නට එන උන්ට කන්න බොන්න දීමට ඈ කෑම උයන්නේ මන්ද? ඈ කෑමෙන් අනුන් පොළඹවාගත හැකි මායාකාරියක නම්, ඔවුන් ඈ උයන කෑම කන්නේ මන්ද?

පටන්ගැන්මේදී ඔබේ පියා ඔහුගේ නෑ සනුහරේ කීම මත වෙන ගෑනියක නොගෙනෙන මුත්, බොහෝ රාත්‍රීන් නිවසින් පිටත ගතකිරීමට පටන්ගනු ඇත්තේය. මුලදී, ඔහු උදෑසන නිවසට එන විට අම්මා ඔහු සමඟ රණ්ඩු අල්ලනු ඇත. පහරදීම් දක්වා වර්ධනය වන රණ්ඩුවකදී ඔබේ මව ඈ සතු ලොකුම හැන්දෙන් පියාගේ හිස්මුදුනට පතබානු ඇති අතර, එයින් පසුව දින කීපයක් ඔහු නිවසට නොඑනු ඇත. ඔබේ අම්මා කිසිවක් නොවුණ ගානට හැසිරෙනු ඇත. තාත්තා කොහි ගියේදැයි ඔබ අසන ප්‍රශ්න ඈ නොසලකාහරිනු ඇත. මුදල් ඉවර වූ විට ඈ ඔබත් කැටුව, මුදල් ඉල්ලා ගැනීමට මාමාකෙනෙකුගේ ගෙදරට යනු ඇත්තේය. ඈ ‘අනේ’ යන පදය බොහෝවාරයක් පවසනු ඇති අතර, ඈ මුදල් හිඟමන් යදින බව ඔබ සැක කරනු ඇත. මාමා අහංකාර සිනාවක් ඇතිව, ‘බයවෙන්න කාරි නෑ’ යැයි කියනු ඇත. ඔබ දෙදෙනා සමඟ ඔහු ගෙයි දොරකඩ දක්වා එන අතර ඔබේ මව ඔහුට ස්තුති කරනවා ඇත. ඔහු කිසිදු මුදලක් නොදෙන අතර, සිදුවන්නේ කුමක්දැයි දැයි ඔබ කල්පනා කරනු ඇත. එදා හැන්දෑවේ ඔබේ පියා ගෙදර එනු ඇති අතර, අම්මා දණින් වැටී ඔහු පිළිගනු ඇත. සතියක් පමණ යනතුරු ඔහු නිවසින් පිට නිදන්නට නොයනු ඇති නමුත්, ඔහු සිය නිශාචර සංචාරය නැවත පටන්ගත් කල්හි ඔබේ අම්මා ඔහු නිවසට පැමිණිවිට රණ්ඩු නොකර සිටිනු ඇත. ටික කලකට රැස්වීම් නොපැවැත්වෙනු ඇත.

ඔහොම ගිහින් එක් දිනෙක මහා රණ්ඩුවක් සිදුවනු ඇත. ඉන් පසු පැවැත්වෙන රැස්වීමට ඔබේ මවගේ නෑයින්ද සහභාගි වනු ඇත්තේය. නාඳුනන ගර්භිණී කාන්තාවක්ද ඊට සහභාගි වී සිටිනු ඇත. නිතරම කරන ලෙස ඔබ ඊට හොරෙන් කන්දෙනු ඇත. ඔවුහු කතා කරනු ඇත්තේ කෝපය කැටිවූ පහත් ස්වරයෙනි. ඔබේ දෙමාපියෝ නිහඬව සිටිනු ඇති අතර, ඔවුන්ගේ නෑයින් පමණක් කතා තරනු ඇත. කෝපය මුසු ශබ්ද වඩා හිතවත් ස්වරයන්ට හැරෙද්දී ඔබ හැංගී ඒ දෙස බැල්මක් හෙළීමට නිර්භීත වනු ඇති අතර, ගර්භිණී ගැහැනිය ඔබේ මව ඉදිරිපිට දණින් වැටී ඇගේ දෙපා බදාගෙන සිටිනු ඔබ දකිනවා ඇත. ඔබේ මව ප්ලාස්ටික් හිනාවක් මූණේ අලවාගෙන සිටින අතර, ඈ දිදුලන පුළුල් සිනාවක් ඇතිව සිටිනවා ඇත. පිරිසට කෑම බීම අල්ලමින් ඔබ සැන්දෑවේ ඉතිරි අඩ ගෙවාදමනු ඇති අතර, නිදහසේ ගලා යන රැස්වීම අවසන සාදයක් බවට හැරෙනවා ඇත. එක්තරා මොහොතක, ඔබ සාදය මැදින් බැදපු මස් බන්දේසියක් රැගෙන යන අතර, ඔබේ තාත්තාගේ පැත්තේ නැන්දා කෙනෙකු ඔබට ගර්භිණී ගැහැනිය හඳුන්වා දෙමින් ඈ ඔබේ පියාගේ අලුත් බිරිය බව කියනු ඇත. ක්ෂණිකවම ඔබ ඈට වෛර කරනු ඇත. ඔබ මුරණ්ඩු ලෙස ඇගේ පලමු නමින් ආමන්ත්‍රණය කිරීම මඟින් ඔබේ විරෝධය දක්වනවා ඇත. එය රණ්ඩු සරුවල් කිහිපයක ආරම්භයට හේතු කාරණා වුවද, කිසිවක් නොසලකා හරිමින් ඔබ ඈට දිගටම ඒ ආකාරයෙන්ම අමතනවා ඇත.

රැස්වීමෙන් සති කීපයකට පසු ගැහැනිය පැමිණ නිවසේ පදිංචි වෙනවා ඇත. ඔබේ අම්මා ඔබේ කාමරයට එනු ඇත. ඈ හඬමින්ම නින්දට යන රාත්‍රීන්වලදී ඔබට ඇගේ ඉකිබිඳුම් ඇසෙනු ඇත. ඔබ ඔබේ පියාට වෛර කරන්නට පටන් ගනු ඇත. ඉක්මනින්ම ඔබට ඔබේ නිවස තුළ ආගන්තුක බවක් දැනෙනු ඇත. ආතතියෙන් යුතුව එකට ජීවත්වන කාලපරිච්ඡේදය අතරතුර ඉඳහිට ඇවිලෙන රණ්ඩු සරුවල් නැමැති විරාම ලකුණු සටහන්වනු ඇත. මුලදී ඔබේ පියා ඔහුගේ අලුත් බිරිය බේරාගන්නට දුවගෙන එනු ඇති මුත්, ඉතා ඉක්මනින්ම ඔහු රණ්ඩුවක් ඇතිවන විටෙක නිවසින් පිටව යාම හෝ වාඩිවී ප්‍රසංගය නැරඹීම හෝ කරනු ඇත්තේය.

ඔබේ පියාගේ අලුත් බිරිය මළ දරුවකු බිහිකරනවා ඇත. ඊට සහ, ඉන්පසුව ඈ ප්‍රසූත කරන මළ දරුවන් කිහිපදෙනෙකු වෙනුවෙන් පැහැදිළිවම දෝෂාරෝපණයට ලක්වනු ඇත්තේ ඔබේ මවය. අන්තිම මළදරු උපතට පසුව ඔබේ පියා ඔබේ මවට අයත් බඩුමුට්ටු නිවසින් පිටතට වීසි කර දමනවා ඇත. ඔබේ පියා ඔබට යන්න කියා නොකියනු ඇති මුත්, ඔබේ අම්මා පසුපස යන ඔබ නතර කරගැනීමට ඔහු උත්සාහ නොදරණු ඇත. ටික කාලයකට ඔබ ඔබේ අම්මාගේ වැඩිමහල්ම සොහොයුරාගේ නිවසේ ජීවත් වනු ඇත. ඔහුගේ බිරිය ඔබ ලවා නිවසේ වැඩ බොහෝ කරවාගනු ඇති නමුත්, ඔබේ ඥාති සොයුරු සොයුරියෝ බොහොම විනෝදකාමී අය වනු ඇත. එහි ඔබ මායාකාරියක නොවනු ඇති අතර, එය ඔබේ ජීවිතයේ ප්‍රීතිමත්ම කාලවලින් එකක් වනු ඇත්තේය.

එක් දිනෙක ඔබේ පියා සහ ඔහුගේ නෑයින් දෙදෙනෙකු පැමිණෙනු ඇත. ඔවුහු ඔබේ මව ඉදිරියේ දණින් වැටී යදිනු ඇත්තේය. ඔබේ තාත්තා අම්මා ඉදිරිපිට දණින් වැටී සිටිනු ඒ වනතෙක් ඔබ නොදැක තිබූ දෙයකි. ඔබේ පියාගේ දෙවැනි බිරිඳ දවසකට වැඩි කාලයක් විළිරුදාවෙන් සිට ඇත. ඔබේ මවට ආපසු ගෙදර එන්නැයි කියා ආයාචනා කරන්න පැමිණියේ යැයි ඔවුන් කියනු ඇති මුත් ඉන් අර්ථගැන්වෙන්නේ කුමක්ද යන්න පැහැදිළිය. මායාකාරියන් කරන ලෙස ඔබේ අම්මා ඒ ගැබ බන්ධනය කර තිබෙන්නේ යැයි ඔවුන් විශ්වාස කරන අතර, ඇගෙන් එම බන්ධනය ඉවත් කර දෙන්නැයි සැබැවින්ම ඔවුහු අයැද සිටිති. ඔවුන් වෙනුවෙන් ඔබේ මවගේ සොහොයුරාද ඔබේ මවගෙන් ආයාචනා කොට ඉල්ලා සිටිනු ඇති අතර, එය අයැදුමකැයි ඔහුගේ වචනවලින් පෙනීගියද ඔහු සැබැවින්ම කරන්නේ එවැන්නක් නොවන බව ඔබට දැනෙනු ඇත. ඔහුගේ පණිවුඩයද ඔවුන්ගේ පණිවුඩය තරමටම පැහැදිළිය. ඔබ දෙදෙනා ඔබව පිළිගනු ලැබූ කාලයට වඩා වැඩි කාලයක් එහි නතරවී සිට ඇති බැවින්, ඔබේ මවට ඇගේ ස්වාමිපුරුෂයාගේ ගෙදරට නැවත යාමට කාලය පැමිණ ඇත. ඔබේ මව එය පිළිගනු ඇත. කෙසේ වුවද ඔබේ පියා අතින් එක්තරා චාරිත්‍රයක් ඉටුවන්නේ නැතිව ඈ නිකම්ම ආපසු යවන්නට ඇගේ සොහොයුරාට නොහැකිය. එසේ වුවද, ඔබේ මව ඇගේ සැමියා සහ ඔහුගේ නෑයින් සමඟ රෝහලට යනු ඇත. ඔබේ පියාගේ බිරිය නිරුපද්‍රිතව දරු ප්‍රසූතිය සිදුකරනු ඇත. ඇය ගැහැනු දරුවකු වනු ඇත. ඔබේ පියාගේ නෑයින්ගේ සිනා ප්ලාස්ටික්වලින් තැනූ ඒවා වනු ඇති අතර, ඔවුන්ගේ ප්‍රීති උත්සව පුහු වනු ඇත්තේය. කිසිවකු ශබ්ද නඟා නොකීවද ඔවුන්ට උවමනා වූයේ පුතකු බව ඔබ දනී. ඔබේ මව දරුවාගේ ලිංගිකත්වය මාරු කළේ යැයි කිසිවකු කියනු ඇත. එය ඉතා විකට කියමනක් ලෙස ඔබට හැඟෙනු ඇත.

මේ දරු උපත හා සම්බන්ධව සිදුවූ සිද්ධි දාමය නිසා ඔබේ මවගේ මායාකාරී බලය තහවුරු වනු ඇත. සාමාන්‍යයෙන් කටකතාවලට සිදුවන්නාක් මෙන් එය පෙරී, අලුත් කෑලි එකතු වී විශ්වාස කළ නොහැකි කතාවක් බවට පත්වනු ඇත. ඔබේ පියාගේ බිරිය විළිරුදාවෙන් පෙලුණු කාලය දිනක සිට සතියක් දක්වා ඉහළ යනු ඇත. වාට්ටුව පිටත අනෙක් ගැහැනුන් හා රැඳෙමින් ඈ කළේ දෙවියන් යැදීම පමණක් යැයි ඔබේ අම්මා ඔබට කී නමුදු, ඔවුන් පවසනු ඇත්තේ ඈ වාට්ටුවට ඇතුළු වී ඔබේ පියාගේ බිරියගේ යටිබඩට අත තබා, අමුතු වචන කියා මැතිරීමෙන් පසුව පමණක් දරුවා බිහිවූ බවය. ඔබේ අම්මා කලු ඇඳුමින් සැරසී මුළුමහත් මායාකාරියන්ගේ සංසදයම පිරිවරාගෙන මන්ත්‍ර ජප කරමින් රෝහලට පැමිණියේදැයි කිසිවකු පාසලේදී ඔබෙන් අසනු ඇත.

පසුව මතක්වූ දෙයක් මෙන්, දරු උපතින් සතියකට පසුව ඔබේ පියා ඔහුගේ නෑයින්ද සමඟ අවශ්‍ය සිරිත් විරිත් ඉටුකිරීමට ඔබේ මාමාගේ නිවසට එනු ඇත. ඔබත් ඔබේ අම්මාත් යළි නිවස බලා එනු ඇත. අලුත උපන් බිළිඳා සහ ඇගේ මව ‘කිසියම් යක්ෂ බන්ධනයකින්’ ගලවාගැනීම උදෙසා විශේෂ ගලවාගැනීමේ යාඥා මෙහෙයක් සිදුකෙරෙනවා ඇත. ඔවුන් සමඟ යාඥාවට එකතුවන්නැයි ඔබේ මව ඔබට කීවේ වුවද, පාස්ටර් ඔබ දෙදෙනා දෙස ඔරවාගෙන, “මම උඹලාව ගැරහීමට පත් කරනවා!” හෝ “ගින්නෙහි පිළිස්සී මැරේවා!” යනුවෙන් යටි ගිරියෙන් බෙරිහන් දෙනු ඇත්තේය.

ඔබේ පියාගේ දෙවැනි බිරියට තවත් ගැහැනු දරුවන් දෙදෙනෙකු ලැබෙනු ඇත. අන්තිමයාගේ නම් තැබීමේ උත්සවයට ඔබේ පියාගේ එකද නෑයෙකුවත් සහභාගි නොවනු ඇත. ඔබේ පියා ගෙදරින් පිටවී රාත්‍රී ගතකිරීම නැවත පටන්ගනු ඇත. අලුත් බිරියට ඒ වැඩේ හරි නොයනු ඇත. පවුල් රැස්වීම් පැවැත්වෙනු ඇත. ඔබේ පියාටද ඒ ආකාරයෙන්ම සලකන බවට ඈ තර්ජනය කරනු ඇත. ඈට උස් හඬින් බැනවදිනු ලැබෙනවා ඇත. ඔබේ පියා ඔහුගේ නිශාචර ගමන්වල අඛණ්ඩව යෙදෙනු ඇත. ඈ ඇගේ තර්ජනය ක්‍රියාත්මක කරනු ඇත. රණ්ඩුවක් ඇවිලෙනු ඇත. තවත් පවුල් රැස්වීමකට පසු, ඔබේ පියාගේ නෑයින් විසින් අවජාතකයින් හැටියට හඳුන්වනු ලැබූ ඈත් ඇගේ දූවරුනුත් බඩුමුට්ටුද සමඟ පිටමං කෙරෙනු ඇත්තේය. ඊට පසුව ඔබේ පියා කලාතුරකින් හෝ නිවසේ රාත්‍රියට නිදා නොගනු ඇති නමුත්, නාඳුනන බඩදරු ගැහැනුන් සමඟ කෙරුණු පවුල් රැස්වීම් ඉන් පසුව සිදු නොවනු ඇත. තුන්වැනි බිරියක් නොඑනු ඇත. සමහරු ඔබේ මවට දොස් නඟනු ඇති අතර, ඔබේ පියාගේ පිරිමිකම පරීක්ෂාවට භාජනය කිරීමට යාම පිළිබඳව ඒ භේදභින්න වූ දෙවැනි බිරියට තවත් සමහරු දොස්නඟනු ඇත.

විශ්වවිද්‍යාලය ඔබට ආදරණීය පලායාමක් වනු ඇත. ඔබ ඔබවම සොයා යාම අරඹනු ඇත්තේ එහිදීය. එහිදී ඔබ නොසිඳෙන උත්සාහයකින් හා ඉහළ අධ්‍යයන කාර්යසාධනයක් රඳවාගෙන සිටිනු ඇත.

ඔබ සැබැවින්ම දෙවියකු පිළිබඳව විශ්වාස නොකරනු ඇත. ඔබ ඔබේ මව සමඟ පල්ලියට යනු ඇත: ළමයකු ලෙස ඔබ කතන්දර ඇසීමට ආශා කළ නමුත්, වයසින් වැඩෙත්ම පල්ලි යන්නන් තුළ පවතින කුහකත්වය තේරුම් ගැනීමට ඔබ පටන්ගනු ඇත. ඔබ තුළ ඇති විශ්වාසය දියවී යනු ඇත. ගැලවීමේ යාඥා සහ මහා උසස්ම දෙවියන්ගේ නාමයෙන් කෙරෙන බැණවැදීම් නිසාද ආගම පිළිබඳව ඔබේ මුව තුළ අමිහිරි රසයක් ඉතිරිකර තිබේ. මිනිස්සු දෙවියන්ගෙන් ශක්තිය ලබාගන්නවා හෝ එසේ කරන බව කියනවා ඔබ දකිනු ඇත - එහෙත් ඔබ ශක්තිය සොයාගනු ඇත්තේ ඔබ තුළින්මය.

ඔබව පල්ලියට ඇදගෙන යාමට අම්මා නැති බැවින් විශ්වවිද්‍යාලයේදී ඔබ පල්ලි යෑම අතහැර දමනු ඇත. ඔබට කාමර සගයකු සිටිනු ඇත. ඈ ආගමට බොහෝ ලැදි වනු ඇත. එහෙත්, ඔබට හුරු පුරුදු එවැන්නන්ට වඩා ඈ වෙනස් එකියක වනු ඇත. ඔබ ඈට ප්‍රිය කරනු ඇත. ශිෂ්‍ය මිත්‍රත්ව රැස්වීම්වලට ඈ සමඟ එන්නට ඈ ඔබව පොළඹවාගනු ඇත. ඔබද යනු ඇත. ඔබ බලාපොරොත්තු වනවාට වඩා එය වෙනස් එකක් වනු ඇත. එහි සිටින අය පල්ලි යන්නන් මෙන් තමා නිවැරදියැයි සිතන අහංකාර අය නොවනු ඇත. ඔවුහු අවිධිමත්, තාරුණ්‍යයෙන් හා ජීවයෙන් පිරි, එමෙන්ම තමන් ටිකෙන් ටික දේවල් තේරුම් ගනිමින් යන පිරිසක් බව පිළිගන්නවා ඇත. මේ මිත්‍රත්ව සංසදයට ඔබ ප්‍රිය කරනු ඇත. පාසලේ ඔබේ සමාජ ජීවිතය වැඩිහරියක්ම පිරෙනු ඇත්තේ මේ මිනිසුන්ගෙන්ගෙනි. එහෙත් තවමත් විශ්වාස නොකරන්නකුව සිටින ඔබ දෙවියන් වෙනුවෙන් නොව මිනිසුන් වෙනුවෙන් මිත්‍රත්ව රැස්වීම්වලට යනු ඇත.
ඔබ මුල්වරට ප්‍රේම හමුවක් යොදාගනු ඇත. එය ඉවරවනු ඇත්තේ නරක ලෙසයි. ඔබ ඊට සමාන සබඳතා ඇති අය නිරීක්ෂණය කරනු ඇත. වයසින් වැඩෙන අතර ඔබට දකින්නට ලැබුණු ආයතනගත ලිංගික නැඹුරුතාව සඳහා නමක් දැමීමට ඔබට හැකිවනු ඇත. ඔබ නිකම්ම සිටීම හෝ ඊට සහාය දීම නොකරනු ඇත. ඔබට සමාන සිතුම් පැතුම් ඇත්තන් මුණ ගැසේවි. ඔබට විරුද්ධ පාර්ශවය ඔබ මත විවිධ අපහාසාත්මක ලේබල අලවනු ඇත්තේය. ඉඳහිට ‘මායාකාරිය’ යන වචනය අන් සියල්ලට ඉහළින් සිය හිස ඔසවා බලනු ඇත. ඊට විරෝධය පෑ විටදී එම වචනය භාවිත කළවුන් ඊට සමාව යැද, එවැනි කෝපාවිෂ්ට වචන හුවමාරුවකදී එවැන්නක් පාවිච්චි කිරීම ගැන දෝෂාරෝපණය කරනුද ඇත. ඒ නම්බු නාමය පිළිබඳව ආඩම්බර වීමට ඔබ උගනිනු ඇත. ඒ වචනය ප්‍රසිද්ධියේ පාවිච්චි කිරීමට විරුද්ධවාදීන් උසිගැන්වීම අභ්‍යන්තරයෙන් එන ආඩම්බරකාර හැඟීමක් ජනනය කරන්නක් වනු ඇත.

ගෙදර තත්වය හොඳ අතට නොහැරෙනු ඇති අතර, සිදුවනු ඇත්තේ කතාබහේ අඩුවීමක් පමණය. ඔබේ පියා වඩ වඩාත් වයස්ගත වී, රාත්‍රිය නිවසින් පිටත ගතකිරීම ඔහුට වෙහෙසකර දෙයක් වනු ඇත. ඔහු පවුල් රැස්වීම් තැබීම හෝ ඒවාට සහභාගි වීම නවතා දමනු ඇත. ඔබත් ඔබේ මවත් ‘අවසානයේදී ඔහුගේ ආත්මය දමනය කිරීමට සමත් වූයේ යැයි’ ඔහුගේ නෑයින් කියනු ඇත. ඔබ වැඩුණු ගැහැනියක බවට පත් වෙද්දී, මායාකාරියකගේ දුවක් වීමට වඩා ඉහළ වූ පිළිගැනීමක් ඔවුන්ගෙන් ඔබට ලැබෙනු ඇත. සාප කිරීමටත්, දරුගැබ් බන්ධනය කිරීමටත් ඔබේම වූ හැකියාවක් ඇති අංග සම්පූර්ණ මායාකාරියක ලෙස ඔබව සැලකෙනවා ඇත. ගැබ්ගෙන සිටින අවස්ථාවලදී ඔබව මඟහැර සිටින ලෙස ඔබේ ඥාති සොහොයුරියන්ට උපදෙස් ලැබෙනවා ඇත. ඔබ වඩාත් කිට්ටු සම්බන්ධකම් පවත්වනු ඇත්තේ ඔබේ මවගේ පවුල සමඟය.

ඔබ ඔබේ වෘත්තිය ගැන වැඩි අවධානයක් යොමු කරනු ඇත. මුදල් යහමින් ලැබෙනු ඇත. ඔබේ පියාගේ නෑයින් ඉරිසියාවෙන් බලනු ඇත. ඔබ ‘උසස්වීමක්’ වෙනුවෙන් ඔබේ ගර්භාෂය මායාකාරියන්ගේ සංසදයට පූජාකොට තිබෙන බැවින් ඔබට කසාද බැඳීමට නොහැකි යැයි ඔවුන් කියනවා ඇත. 

මායාකාරියන්ගේ සංවිධානවල අභ්‍යන්තරයේ සිදුවන මෙවැනි දේවල් ගැන ඔවුන් ඒතරම් හොඳින් දැන සිටින්නේ කෙසේදැයි ඔබ පුදුමයට පත්වනු ඇත. විවාහ වීමට ඔබේ සූදානමක් නැති බැවින් ඔවුන් කුමක් සිතන්නේද යන්න ගැන ඔබ කරදර නොවනු ඇත. හැම මිනිහාම එකයැයි ඔබ කල්පනා කරනු ඇත. ඔබේ ස්ත්‍රීවාදී සංසදය තුළදී ඔබට පිරිමියකු හමුවනු ඇත. ඔහු වෙනස් එකෙකු වනු ඇත. ඔබ ඔහු සමඟ විවාහ වනු ඇත. 

ඔබ ඔබේ වයස්ගත අම්මා ඔබේ නිවසට ගෙන්වා ගනු ඇත. ඔබ දෙදෙනාගේ ජීවිතය ගැන තොරතුරු වැඩි වැඩියෙන් ඔබ අතර හුවමාරු වනු ඇත. ඈ දුර්වල තැනැත්තියකැයි සිතමින් ඈ පිළිබඳ නුරුස්නා හැඟීමක් ඔබ තුළ ඇතිකරගෙන සිටි බව ඔබට අවබෝධ වනු ඇත. ඔබ ඈට සමාව දෙනු ඇත. ඔබට දූවරුන් දෙදෙනෙකු ලැබෙනු ඇත. ඔබේ සැමියාගේ පවුලේ උදවිය ඔබට නපුරු වූවද, ඔවුන් ආ කල ඔබ ඔවුන්ට හොඳින් සලකනු ඇත. කල්යාමේදී ඔබේ අම්මා ඔබට පුතකු ලබාදෙන ලෙස යාඥා කරනු ඔබේ දූවරුන්ගේ කන වැකෙණු ඇත. 

දරුව, මේ ඔබ විසින් ගෙවනු ඇත්තා වූ ජීවිතයයි. මෙහි කිසියම් කොටසක් ඔබට අපැහැදිළි නම්, පැහැදිළි කරගැනීම සඳහා අවශ්‍යනම් නැවත වරක් ඒ කොටස කියවා බලන්න. ප්‍රශ්න නැතිනම් ඔබට ඉදිරියට යා හැකිය. ලෝකය ඔබ එනතුරු බලා සිටී. දරුව, මම ඔබට සුබ පතමි!

Supem Tissera

unread,
Dec 28, 2023, 8:03:31 PM12/28/23
to INDRAKA

නිස්සංක , මේ කතාව post කලාට තුති .

ලස්සන කතාවක්යොදා ඇති බස් වහර සහ plot එක ඉතා රසවත් ලෙස ඉදිරිපත් කරනවා. ඉස්සා ගේ ඔලුව  අයින් කිරීම තුලින් තීක්ෂණ ව වටිනා මිනිසෙක් ලෙස වෙනස් කිරීම ඉදිරිපත් කරන අකාරය (සහ එම සැසදීම ) තුල ඉතා නැවුම් බවක් දැනෙනවා . නමුත් කතාව අවසානයේදී  තීක්ෂණ නැවතත් කතානායිකාව වෙත ජපානයට පැමිනීම නම් මම දකින්නේ නිතරම කතාවල දකින Cliche එකක් ලෙසය් . එයින් කතාවට පොඩි හානියක් වෙලා ඇති බවය් මගේ අදහස. 

මේ කතාව සහ තවත් අලුත් කතා (මංජුල සේනාරත්න වැනි අයගේ ) කියවද්දී මට දැනුන එකක් වන්නේ නව ලේකකයන්ගේ  කතාවල plot එකේ ඇති නිර්මාණශීලී නැවුම් බවය් (Their imaginations are running riots in the stories )

මේ පහත මම උපුටා ඇත්තේ මේ කතාවේ මට දැනුන සමහර කොටස් පෙළක්  .

 "මට හම්බුනා තමුසේ වගේ ඔලුව කන්නැති ගෑනියෙක්!"

 මා නොසෙල්වුණ මුත්, දෙනෙත් ළා අවර්ණ පටලයකින් බොඳව යනු දැනිණි. පා ඉදිරියට තැබිය නොහැකි ඇසිල්ලක, පිටුපසට ගන්නටත් හිත හදාගනු නොහැකිව මම නෙතට උරා එන තෙත එහිම වියකාගන්නට අනවරත වෑයමක නිරතවීමි.

 මධ්‍යම පාන්තික පවුලක පස්වෙනි දරුවා හෙවත් බඩ පිස්සිය ලෙසින් මම උපත ලැබීමි.බඩ පිස්සිය වූයේ අම්මා මගේ ඉපදීමෙන් අනතුරුව ඇගේ ගර්භාෂයම සීල් තබා වසාදැමූ නිසාය. මගේ සිව් සොහොයුරු සොහොයුරියන් මට වඩා අට වසකින් වැඩිමහලු වෙද්දී.... මා ඒ පවුලේ අනවශ්‍ය කොටස බවට පත්වුණේ නිරායාසයෙනි. යළිත් දරුවෙකු ගැන කිසිදු සුබ සිහිනයක් නොවූ මා පියන්ට මා අහඹු තිගැස්මකි.

 "ආයේ බබාලා ඕනිම නෑ කියලා හිටියේ. දරුවෝ හතරක්ම ඉන්නවානේ. කොහෙද ඉතින් මෙයා හොරා වගේ ඇවිදින්!"

 මා ඉදිරිපිට තබා පවසන මෙවන් වදන්වලින් කොතෙක් නම් මා විදවනු ඇත්දැයි ඔවුන් කිසිදාක නොදැනගනු ඇත.

  

. ගර්වය පෙරට දමා රැකවල් යෙදූ කඳුළු වැල් මා පමණක් තනිවූ මොහොතේ මේඝයක් සේ කඩා හැලෙන්නට පටන් ගත්තේ ය. මම ප්‍රේම කළෙමි. පේවී ප්‍රේම කළෙමි. එනමුදු එයින් ඉතුරු වූයේ අතින් අල්ලාගත්  හැකි තරමට ඝනව මා වටා පැතිරගත් වේදනාවක් පමණකි.

  

මම ඔහුගේ ඔලුව කෑ බව සැබෑවක් යැයි  පිළිගනිමි. නමුත් සැඟවූ කටුක යථාර්තය වූයේ, එය කෙසේවත් රසැති නොවූ බවය. එහි වූ අමන කටුක රස පිළිකුළෙන් තොරව අනුභව කර, මම ඔහුව හිසෙහි මළපහ පුරවාගත්තෙකුගෙන්, මිළාධික ඉස්සෙකු බවට පත් කළෙමි

  

තීක්ෂණ මාව අත් හැරියේ මම එයාගේ ඔලුව කන ගෑ;නියක් කියලා. ඒත් එයාට අමතක වුණා එයා ඉස්සෙක් වගේ මනුස්සයෙක් කියනෙක. ඉස්සෝ කොච්චර වටිනවා වුණත්, ඒ වටිනාකම ලැබෙන්න නම් මුලින්ම ඒ ජරාව පිරිච්ච ඔලුව අයින් කරලා ඉන්න ඕනේ. මගේ ජීවිතෙන් අවුරුදු දොළහක් මම එයාගේ ඔලුව කනවා කියලා කරේ ඒ ජරාව අයින් කරපු එක.හැබැයි තීක්ෂණට ඒක තේරෙන කොට එයා හුඟක් පරක්කුයි. එයා මාව අතෑරිය දවසේ මම උන්ගේ ඔලු කාලා බැලුවා.පුදුම තරම් අප්පිරියා රහක්!එදා ඉදන් අද වෙනකම්.... කවදාවත් මේ රෙස්ටුවරන්ට් එකේ උයන්නවත් මම ඉස්සෝ ගේන්නේ නෑ ඔලු අයින් කරලා මිසක්!"

 

එයා හොක්කයිඩෝවල ඉඳන් මෙහෙට එවන්න ඉස්සන්ගේ ඔලු කඩනවා!"

Nissanka Rajapaksa

unread,
Dec 29, 2023, 7:00:14 PM12/29/23
to INDRAKA group
61
හස්තිරාජයෙකුට ගිනි බින්දෙමි

- ජෝර්ජ් ඔවෙල්ගේ Shooting an Elephant කෙටි කතාවේ පරිවර්තනය රෂ්මික මණ්ඩාවල විසිනි

 
වරක් පහළ දිග බුරුමයේ, මෝල්මයින්හි දී විශාල පිරිසකගේ වෛරයට මම පාත්‍රවීමි. එවැනි දෙයකට මුහුණ දීමට තරම් මගේ ජීවිතයේ මා වැදගත් අයෙකු වූයේ නම් ඒ මේ කාලයේ පමණයි. එකල මම නගරයේ උප ප්‍රාදේශීය පොළිස් නිළධාරියෙකු ලෙස කටයුතු කල අතර, වැසියන්ගේ අරමුණකින් තොර යුරෝපියානු විරෝධය දරාගැනීම ඉතා කටුක අත්දැකීමක් විය. උද්ඝෝෂණ කිරීමට කිසිවෙකුට ධෛර්යයක් නොතිබුන නමුත්, යුරෝපීය කාන්තාවක් කඩමණ්ඩිය හරහා තනිවම ගමන් කළහොත් කවුරුන් හෝ ඇ‍ගේ ඇඳුමට බුලත් කෙළ ගැසීය. පොලිස් නිළධාරියෙකු ලෙස මා පැහැදිලිවම ඔවුන්ගේ ඉලක්කයක් වූයෙන් ආරක්ෂාකාරී යැයි හැඟුණ විට ඔවුහු මා ප්‍රකෝප කරන්නට තැත් දැරූහ. පාපන්දු පිටි‍යේදී වේගවත් බුරුම ක්‍රීඩකයෙකු මට කකුල් මාට්ටුවක් දැමූ විට බුරුම ජාතික විනිසුරුවරයා අහක බැලූ අතර නරඹන්නෝ අප්‍රසන්න ලෙස සිනාසුනහ. මෙය එක්වරක් නොව කිහිපවරක්ම සිදුවිය. අවසානයේදී මගේ ඉදිරියට හමුවන, කිසිදු ගරුසරුවක් නැති කහපාට මුහුණු සහිත බුරුම තරුණයින් මා පසුකොට ආරක්ෂිත දුරක් ගිය විට එල්ල කළ අපහාස මගේ මනසට තදින් බලපෑවේය. මේ අතරින් වඩාත් නරක වූයේ තරුණ බෞද්ධ භික්ෂූන්ය. දහස් ගණනක් වූ මෙම තරුණ භික්ෂූන්ට වීදි කොන්වලට වී යුරෝපීයයන් දෙස බලාසිටිනවා හැර වෙනත් කාර්යයක් තිබුනේම නැත.

මේ සියල්ල ව්‍යාකූල සහ කලබලකාරී විය. ඒ වන විටත් මා සිතා සිටියේ අධිරාජ්‍යවාදය ඉතාම අමානුෂික දෙයක් බවත් හැකි ඉක්මනින් මගේ රැකියාව අතහැර දමා ඉවත් විය යුතු බවත්ය. සැබවින්ම, රහසින් මම බුරුම වැසියන් වෙනුවෙන් පෙනී සිටි අතර, ඔවුන්ට හිරිහැර කරන බ්‍රිතාන්‍යයන්ට විරුද්ධ වූයෙමි. මා කළ රැකියාව ගැන කල්පනා කළ විට මා ඒ ගැන පැහැදීමකට වඩා දරුණු ලෙස කළකිරී සිටියෙමි. මෙවැනි රැකියාවකදී ඔබ දකිනුයේ අධිරාජ්‍යයේ සැඟවුණු අපිරිසිදු ක්‍රියාකලාපයයි. අඟුළු දැමූ අඳුරු දුඟද වහනය වන කූඩුවල තෙරපී සිටින දීන සිරකරුවන්, උණබම්බු පහර වැදී කැළැල් සහිත වූ තට්ටම් හා සංත්‍රස්ත මුහුණු වලින් යුත් දිගු කාලීන වරදකරුවන්, යන මේ සියල්ලම මා තුල ජනිතකළේ දරාගත නොහැකි වරදකාරී හැඟීමකි. එහෙත් මා ඉදිරියේ කළ හැකි කිසිවක් නොවීය. අඩු අධ්‍යාපනයක් සහිත තරුණයෙකු වූ මට, පෙරදිග සෑම ඉංග්‍රීසි ජාතිකයෙකුටම පනවන ලද නිහඬතාවය තුළින් මගේ ගැටළු වලට පිළිතුරු සෙවීමට සිදුවිය. අඩුම තරමේ ඉංග්‍රීසි අධිරාජ්‍යයා මියයමින් සිටින බවවත් මා නොදැන සිටි අතර, තරුණ අධීරාජ්‍යයෙකු ඔහුගේ තැන ගැනීම දැනගනු වෙනුවට අධිරාජ්‍යයා මියයමින් සිටින බව නොදැන සිටීම යහපත් විය. 
දැනගෙන සිටි එකම දෙය නම් මා සේවය කළ අධිරාජ්‍යයා  කෙරෙහි වූ වෛරය හා මගේ රැකියාව කළ නොහැකි තත්වයකට පත්කිරීමට උත්සාහ කළ මේ කුඩා බුරුම යක්ෂයින් කෙරෙහි වූ දැඩි කෝපයත් අතර මා සිරවී සිටින බවය.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය කිසිදාක බිඳදැමිය නොහැකි රාජ්‍ය පාලනයක් බව මගේ මනසේ එක් පාර්ශවයක් කල්පනා කරන අතරේ බෞද්ධ භික්ෂුවකගේ බඩවැල් පසාරු වන ලෙස බයිනෙත්තුවක් බැස්සවීම ලෝකයේ ලොකුම ප්‍රීතිය යැයි අනෙක් පාර්ශවය සිතුවේය. මෙවැනි හැඟීම් අධිරාජ්‍යවාදයේ සාමාන්‍ය අතුරු ඵලයන්ය. රාජකාරියෙන් නිදහස්ව සිටින ඕනෑම ඉංග්‍රීසි-ඉන්දියානු නිලධාරියෙකුගෙන් ඔබට එය විමසා බැලිය හැකිය.

එක්තරා දිනක මංසන්ධියේදී සිදුවූ සිදුවීමක් මගේ දෑස් අරවන සුළු විය. එය ඉතා කුඩා සිදුවීමක් වුවත් අධිරාජ්‍යයේ සැබෑ ස්වභාවය පිළිබඳව මා කලින් දැක තිබුනාට වඩා සූක්ෂම දර්ශනයක් එය මට ලබාදුන්නේය. එය ඒකාධිපති ආණ්ඩු ක්‍රියාත්මක වන සැබෑ චේතනාවන් ප්‍රකට කළේය. එදින උදෑසන නගරයේ අනෙක් පස  පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයා දුරකතනයෙන් මා අමතා අලියෙකු පැමිණ නගරයේ කඩමණ්ඩිය විනාශ කරන බවත්, මා හට පැමිණ එයට යමක් කළහැකිදැයි කාරුණිකව විමසීය. එයට කුමක් කළ යුතුදැයි මා නොදැන සිටියත් සිදුවන්නේ කුමක්දැයි දැකබලා ගැනීමේ කුතුහලයෙන් යුතුව අශ්වයා පිට නැගී එදෙසට පිටත් වූයෙමි. මා සතුව තිබූ පරණ .44 රයිෆලය අතට ගත්තේ, අලියෙකු මැරීමට එය ප්‍රමාණයෙන් කුඩා වුවත් ශබ්දයෙන් ඌ බිය කොට පළවා හැරිය හැකි වේ යැයි සිතාගෙනය. නානාප්‍රකාර බුරුමවරු මා නවතා අලියා කළ දේ ගැන විස්තර මට පැවසුවෝය. මේ අලියා වල් අලියෙකු නොවූ අතර, හීලෑ කරන ලද අලි පවා පහරදිය හැකි බැවින් දම්මැල් දමා බැඳ තැබූ නමුත් පෙරදින රාත්‍රියේ අලියා දම්වැල් කඩාගෙන පැනගොස් තිබිණි. මෙම තත්වය පාලනය කළ හැකි එකම පුද්ගලයා වූ ඇත්ගොව්වා අලියා ලුහුබැඳ ගොස් තිබූ නමුත් මඟ වැරදීමෙන් පැය දොළහකට වඩා දුර වෙනතක ගමන් කර තිබිණි. මේ අතර හදිසියේම උදෑසන අලියා නගරයෙන් මතුව තිබේ. බුරුම වැසියන් සතුව ආයුධ නොතිබූයෙන් අලියා ඉදිරියේ ඔවුන් අසරණ ය. අලියා ඒ වනවිටත් උණබට වලින් කල නිවසක් විනාශ කොට , හරකෙකු මරාදමා පළතුරු කඩ කිහිපයක තිබූ පළතුරු තොග ද විනාශ කර තිබුණේය. නගරයේ කුණු ගෙනයන රථයට අලියා හමුවූ මොහොතේ රියදුරා දිවි බේරාගෙන පැනගොස් ය. රථය පෙරලූ අලියා එයට දරුණු ලෙස පහර දී තිබේ.

බුරුම උප පොලිස් පරීක්ෂකවරයා හා ඉන්දියානු කොස්තාපල්වරුන් කිහිපදෙනෙක් මා එනතුරු අලියා අවසන් වරට දුටු ස්ථානයේ රැඳී සිටියහ. කඳු බෑවුමක උණ බම්බු වලින් ඉදිකොට තල් කොල සෙවිලි කල පැල්පත් වලින් සමන්විත එය ඉතා දිළිඳු ප්‍රදේශයක් විය. වළාකුළු වලින් බරවූ එදින වැසි ඇරඹීමට සූදානම්ව තිබූ උදෑසනක් විය.  අලියා ගිය මඟ සොයා ගැනීමට කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීම් සිදු කළත් සුපුරුදු ලෙසම කිසිදු තොරතුරක් ලබාගැනීමට මම අසමත් වීමි. දුරින් සිට බලන විට පැහැදිලි ලෙස පෙනෙන කතාවක් ළංව බලන විට නොපැහැදිලි වන මෙය පෙරදිගටම පොදු ගැටලුවකි. සමහරු අලියා එක් දෙසකට ගිය බැව් පැවසූ අතර, තවත් සමහරු අනෙක් දෙසට ගිය බැව් පැවසුවෝය. තවත් සමහරු අලියෙක් ගැන කිසිවක් නොදන්නා බව දිවුරා ප්‍රකාශ කළහ. ඉතා ළඟින් අලියාගේ කුංඡනාදය ඇසුනු විට මේ සියලු කතා මුසාවන් බව මම තීරණය කළෙමි.

වේදනාකාරී උස් හඩකින් “අහකට යන්න දරුවා. මේ දැන්ම අහකට යන්න” යැයි කෑගසමින් ඉපළක් අතින්ගත් වයසක කාන්තාවක් පැල්පත වටෙන් පැමිණ පැල්පත අයිනේ සිටි නිරුවත් දරුවන් පිරිසක් ප්‍රචණ්ඩකාරී ලෙස එළවා දැමුවාය. තවත් කාන්තාවන් පැමිණ තමන්ගේ දිවෙන් ක්ලික් ශබ්දය නගමින් දරුවන් නොදැකිය යුතු යමක් එහි ඇති බව ඉඟි කළේය. පැල්පත වටේ ගිය මට මඩෙහි විහිදී ගිය මළසිරුරක් දැකගත හැකිවිය. අඩනිරුවතින් සිටි ඔහු දමිළ ඉන්දියානු කුලීකරුවෙකු විය. පැල්පත කොනින් හදිසියේ මතුවූ අලියා ඔහුව හොඬවැලින් ගෙන පොළවේ ගසා පයින් පෑගූ බව පිරිස පැවසුවෝය. වැසිකාලය නිසා බිම වඩාත් මෘදු වූ බැවින් ඔහුගේ මුහුණ අඩියක් පමණ මඩෙහි ගිලී යාර දෙකක පමණ අගලක් හාරා තිබිණි. සිය උදරය මත වැතිර සිටි ඔහුගේ දෑත් දෙපසට විහිදී ගොස්, හිස එක්පසකට ඇඹරී ගොස් තිබිණ. මඩෙන් වැසී දෑස් විවරව, දත්මිටිකමින් තිබූ ඔහුගේ මුහුණේ අධික වේදනාව පැහැදිලිව පෙනුණි. මරණය සාමකාමී යැයි මට කිසි විටෙක නොපවසන්න. මා දැක ඇති බොහෝ මළ සිරුරු යක්ෂාවේෂ වූවන් වැනිය. අලියාගේ පාදයේ ගැටීමෙන් ඔහුගේ කාලවර්ණ හම මැදී තිබුණේ සුදු පැහැති සාවෙකුගේ හමක් ලෙසින්ය. මියගිය මිනිසා දුටු විටම අලින් මැරීමට ගන්නා රයිෆලයක් රැගෙන එන ලෙස අසල සිටි මිතුරෙකුගේ නිවසට පණිවිඩයක් යැවීමි. ඒ වන විටත් මා අශ්වයාව පිටත් කර හැර තිබුනේ අලියාගේ ගඳට බියවී කුලප්පු වන අශ්වයා මා බිමට වීසිකළ හැකි බැව් අවබෝධ කරගෙනය.

මිනිත්තු කිහිපයකින් ඇණවුම් කළ රයිෆලය කාට්රිජ් පහක් සමඟ ලැබිණි. අලියා යාර තුන් හාරසියයකට එපිටින් පිහිටි වෙල් යායෙහි සිටින බව බුරුම වැසියන් පැමිණ අපට දැනුම් දුන්නෝය. මම ඉදිරියට යාමට පියවර කිහිපයක් තැබූ විට සියළුම ගම්වැසියෝ නිවෙස් වලින් එළියට පැමිණ මා පසුපස එන්නට පටන්ගත්හ. මා අත තිබූ රයිෆලය දුටු ඔවුහු මා අලියාට වෙඩි තැබීමට යන්නේ යැයි සිතා විශ්මයෙන් යුතුව කෑගැසුවෝය. ඉංග්‍රීසි ජාතිකයින්ට සේම ඔවුන්ට ද එය විනෝද ජනක ක්‍රියාවක් විය. ඊට අමතරව ඔවුන්ට මස්ද අවශ්‍ය විය. එය මට නොසන්සුන්තාවයක් ඇතිකළේය. අලියාට වෙඩි තැබීමට මට කිසිදු අවශ්‍යතාවයක් නොවීය. රයිෆලය ගෙනආවේ මගේ ආත්ම ආරක්ෂාව සඳහාය. පිරිසක් තමන් පසුපස ඒම හැමවිටම සිත සසල කළ කාරණයකි. මම කඳුගැටය වෙත පිවිසුනෙමි. මා පසුපසින් තෙරපෙමින් පැමිණෙන මිනිස් හමුදාවත්, උරහිස මත රැදුණු රයිෆලයත් සමඟ මට හැඟීගියේ මා අත්‍යන්ත මෝඩ‍යෙකු විලසිනි. පැල්පත් වලින් එහාට ගියවිට ගල්කැබලි වලින් තනන ලද මාර්ගයක් දිස්විය. ඉන් එහාට තිබුනේ වැස්සෙන් පෙඟීගිය, තවමත් වපුරන්නට සූදානම් නොකළ කොළ පැහැති තිත් තිත් ලෙස දිස්වූ අක්කර දහස් ගණනක ගොහොරුවකි. මාර්ගයට යාර අටක් පමණ දුරින් අලියා සිටියේ උගේ වම්පස අපට හරවාගෙනය. ඌ දෙසට ඇදෙන පිරිස ගැන අඹ මල් රේණුවක වත් තැකීමක් නොකළ අලියා බිම තිබූ තණකොළ උගුල්ලා ඒවා පිරිසිදු කිරීම පිණිස දණහිසට ගසා පසුව කටේ දමාගත්තේය. මම පාරේ නතර වුනෙමි. අලියා දුටු විගසම ඌට වෙඩි නොතැබීමට මම තීරණයකට එළඹ  සිටියෙමි. වැඩකරන අලියෙකු මරාදැමීම අපරාධයකි. හරියට එය විශාල වටිනාකමක් ඇති යන්ත්‍ර සූත්‍ර විනාශ කිරීමකට සමානය. පැහැදිලිවම අලියා වළක්වාගත හැකි නම් කිසිවිටක එය නොකළ යුතුය. නිදහසේ ආහාර ගනිමින් ඈතින් සිටින අලියා එළදෙනෙකු තරම්වත් භයානක නොවේ. කල්පනා කර බැලූ විට මට හැඟී ගියේ අලියා අනිවාර්යයෙන්ම පහර දෙන සීමාව පසුකර ඇති බවය. මේ වනවිට ඌ ඉබාගාතේ යමින් තමන්ගේ ඇත්ගොව්වා පැමිණ අල්වාගන්නා තෙක් බලාසිටීන අහිංසකයෙකි. අලියා නැවත දරුණු වන්නේදැයි බලා සිට ගෙදර යාමට තීරණය කළෙමි.

එහෙත් මෙවේලෙහි මම මා වටා සිටි පිරිස දෙස නෙත් යොමුකළෙමි. මා වටා වූ දෙදහසකට අධීක පිරිස ගතවන සෑම මිනිත්තුවකදීම තව තවත් වර්ධනය විය. ඔවුහු දෙපසින්ම මාර්ගය සෑහෙන දුරකට අවහිර කර ගෙන සිටියහ. මා අලියාට වෙඩි තබනු ඇතැයි විනෝදයෙන් බලාසිටින, ඒ විස්කෘත ඇඳුම් වලට ඉහළින් එසවුනු කහපැහැති මුහුණු දෙස බැලුවෙමි. මැජික් ශිල්පයක් දක්වන ඉන්ද්‍රජාලිකයෙකු දෙස නරඹන්නා සේ ඔවුහු මා දෙස බලා සිටියහ. මට කොතරම් අකමැති වුවද, මෙවෙලෙහි මායා රයිෆලය අත රැඳුණු මා දෙස බලා සිටීම ඔවුන්ට වටිනාකමක් ගෙනදුන්නේය. හදිසියේම මා අලියාට වෙඩිතැබිය යුතු බැව් මට හැඟී ගියේය. ජනතාව මගෙන් අපේක්ෂා කළ එම කාර්යය මා විසින් එය ඉටුකළ යුතුව තිබිණි. දෙදහසකට අධික පිරිසකගේ කැමැත්ත විසින් මා ඉදිරියට තල්ලු කරමින් තිබෙන බව මට දැනිණි. රයිෆලයත් අතැතිව එවෙලෙහි නැගී සිටි මම, පළමුව හිස්බවද, දෙවනුව පෙරදිග සුදු මිනිසාගේ ආධිපත්‍යයෙහි නිෂ්ඵල බවද වටහා ගනු ලැබීමි. තුවක්කුවක් අත තබාගෙන සිටින සුදු මිනිසා වන මම, නිරායුධ ස්වදේශිය ජනයා ඉදිරියේ සාමයේ ප්‍රධාන නළුවා වන මම, සත්‍ය වශයෙන්ම නම් මෙවෙලෙහි මා පසුපසින් සිටි කහපැහැති ස්වදේශික මුහුණු වලින් නැටවෙන රූකඩයක් පමණි. ඒ මොහොතේ මා වටහා ගත්තේ සුදු මිනිසා ක්‍රෑර පාලනයට හැරෙන හැමවිටම ඔහු විනාශ කර ගන්නේ ඔහුගේම නිදහස බවයි. මක්නිසාද යත් සුදු මිනිසාට සිය ජීවිතයේ ඉතිරි කාලයම ගෙවා දැමීමට වන්නේ මේ ස්වදේශික මිනිසුන් පිනවීමේ කොන්දේසියට යටත්වය. එය ඔහුව පෙරදිග සාම්ප්‍රදායික සාහිබ්වරයෙකු බවට පත්කරයි. එබැවින් සෑම ව්‍යවසනයකදීම ඔහුට ස්වදේශිකයින් ඔහුගෙන් අපේක්ෂා කරන කර්තව්‍යය ඉටුකිරීමට සිදුවේ. එය සැබවින්ම හිස් රූකඩයක් බවට පත්වීමකි. එය හරියට තමන් පැළඳ සිටින වෙස්මුහුණට සරිලන ලෙස තමන්ගේ මුහුණ වර්ධනය කරගැනීමක් බඳුය. රයිෆලය ගෙනඑන්නට නියම කළ මොහොතේ සිට අලියාට වෙඩි තැබීමට මම කැපවී සිටිමි. සාහිබ්වරයෙකු, සාහිබ්වරයෙක් ලෙස රඟපෑ යුතුය. තමන් නිර්භීත බව පෙන්වීමට අධීෂ්ඨානශීලීව ක්‍රියාකළ යුතුය. රයිෆලයකුත් ගෙන, දෙදහසකට අධික පිරිසක් මෙතරම් දුර කැඳවාගෙන විත් කිසිවක් නොකොට ආපසු යා හැකිද? නැත. එය කිසිවිටෙක සිදුකළ නොහැක. ඔවුන් මට සිනාසෙනු ඇත. පෙරදිග සෑම සුදු මිනිසෙකුගේම ඒකායන අභිප්‍රාය නම් මේ ස්වදේශිකයන්ගේ සිනහවට ලක්වීම වළක්වා ගැනීමය.

එහෙත් අලියාට වෙඩි තැබීමේ අවශ්‍යතාවක් නොවීය. අලියා සන්සුන්ව උගුල්ලන ලද තණකොළ දණහිසිට දමාගසන අයුරු මම බලා සිටියෙමි. ඌට වෙඩි තැබීම මිනීමැරුමක් බව මට හැඟිණි. ඒ වයසේදී සතුන් මැරීමට මට කිසිදු තැකීමක් නොවීය. මා කිසිවිටෙක අලියෙකුට වෙඩි තබා නොතිබූ අතර එසේ කිරීමට අවශ්‍යතාවයක්ද මට නොවීය. අලියාගේ හිමිකරුට වන පාඩුවට අමතරව විශාල සත්වයෙකුට වෙඩි තැබීම හැමවිටම ඉතා නරක කටයුත්තක් විය. 

ජීවත්වන අලියෙකු පවුම් සියයක වටිනාකමින් යුක්ත වුවද, මියගිය අලියෙකුට බොහෝවිට හිමිවනුයේ උගේ දළ දෙකට හිමි පවුම් පහක පමණ වටිනාකමක් පමණි. නමුත් මා ඉක්මනින් යමක් කළ යුතුව තිබේ. අප එහි එනවිටත් එතැන සිටි අත්දැකීම් බහුල බුරුමවරුන් කිහිපදෙනෙකුගෙන් මම අලියාගේ තත්වය පිළිබඳව විමසීමි. ඔවුන් සියලු දෙනාම පැවසූයේ එකම කරුණකි. එනම් ඌට පාඩුවේ ඉන්නට ඉඩදෙන තෙක් ඌ අප ගැන තැකීමක් නොකරනු ඇති බවත්, නමුත් ඌට ළංවන්නට උත්සාහ කලහොත් ඌ පහර දීමට පැමිණෙනු ඇති බවත්ය.

මා කළ යුතු දෙය මට හොඳින්ම පැහැදිලි විය. එනම් අලියාට යාර විසිපහක් පමණ දුරින් සිට උගේ හැසිරීම නිරීක්ෂණය කිරීමය. ඌ මට පහරදීමට උත්සාහ නොකළේ නම් ඇත්ගොව්වා නැවත පැමිණෙන තුරු ඌට එසේ සිටීමට ඉඩදීම ආරක්ෂිතය. එහෙත් මා මේ කිසිවක්ම නොකරන බව මම දැන සිටියෙමි. 
රයිෆලයෙන් වෙඩි තැබීමට මම ඉතා දුර්වලයෙකු වීමි. මඩ සහිත පොළවේ තබන සෑම පියවරකම මා එහි එරී යනු ඇත. යම්හෙයකින් අලියා ඉදිරියට එන විට මගේ ඉලක්කය වැරදී ගියහොත් මට බේරීමට ඇත්තේ කෙස්ගසක අවස්ථාවකි. ඒ මොහොතේත් මා මටත් වඩා කල්පනා කළේ මා දෙස නෙත් යොමා සිටින කහපැහැති මුහුණු පිළිබඳවය. සාමාන්‍යයෙන් මා තනියෙන් සිටින අවස්ථාවක තරම් බියක් පිරිසක් සමඟ සිටින විට මට නොදැනිණි. සුදු මිනිසා කිසි විටෙක “ස්වදේශිකයින්” ඉදිරියේ බිය නොවිය යුතුය යන්න පොදුවේ පිළිගත් අර්ථය විය. මෙය තදින් මගේ සිහියට නැගුනේ යම් වැරදීමකින් අලියා මා ලුහුබැඳ අල්වාගෙන පොළවේ ගසා අර ඉන්දියානුවා සේ අඹරා දැමුවහොත් මේ බුරුම වැසියන් අතරින් පිරිසක් නිසැකවම සිනාසෙනු ඇත. එය කිසිවිටෙක සිදු නොවිය යුතුය.

තිබුණේ එකම විකල්පයකි. මැගසිනයට පතුරම් පිරවූ මම හොඳින් ඉලක්කය ගනු පිණිස පාරේ බිම දිගාවීමි. සියල්ලෝම නිශ්චලව ගැඹුරු හුස්මක් හෙලුවේ නාට්‍යාගාරයක තිරය ඇරෙන තෙක් බලා සිටි නරඹන්නන් ලෙසය. ඔවුහු මේ දර්ශනයෙන් විනෝදයක් ලබන්නට සැරසෙති. හොඳින් ඉලක්කය ගත හැකිවන පරිදි සකසා තිබූ ජර්මානු රයිෆලය අලංකාරය. අලියෙකුට වෙඩි තැබීමේදී උගේ එක් කර්ණ විවරයක සිට අනෙක් විවරය පසාරු වන ලෙස වෙඩි තැබිය යුතු බව මම එකල නොදැන සිටියෙමි. අලියා පසෙකට හැරී සිටි ඒ මොහොතේ අලියාගේ කර්ණ විවරය වෙනුවට මම ඊට මඳක් ඉදිරියෙන් වූ උගේ හිසට ඉලක්කය ගතිමි.

කොකා ගැස්සූ විට මට රයිෆලයේ ගිගුම් දෙන හඩ හෝ කම්පනය නොදැනිණිා නමුත් සමූහයා වෙතින් නැගුණ අමනුෂ්‍ය ප්‍රීතියේ හඬ මගේ දෙසවනට ඇසිණි. ඒ කෙටි කාල පරාසය තුළ අලියාගේ අද්භූත වෙනසක් ඇතිවිය. ඌ කැළඹුනේ හෝ ඇදවැටුනේ නැති නමුත් උගේ ශරීරයේ සෑම රේඛාවක්ම වෙනස් වන්නට පටන් ගත්තේය. එක්වරම අලියා දුක්ඛිත, ඇකිළුනු , මහලු ස්වරූපයක් ගෙන තිබුනු අතර උණ්ඩය විසින් ඌ මරාදමනු වෙනුවට අංශභාග තත්වයට පත් කර තිබිණි. දිගු කාලයක් ලෙස දැනුණු ඒ තත්පර කිහිපය තුළ අලියා දණහිසෙන් මඳක් නැවුනු බව මට කිව හැකිය. උගේ කටින් කෙළ ගලා ආවේය. දැවැන්ත වයස්ගත ස්වභාවයක් අලියා මත රැඳී තිබුණ බව පෙනෙන්නට විය. කෙනෙකුට ඌ වසර දහස් ගණනක් මහලු බව හිතන්නට හැකියාව තිබිණි. පළමු වෙඩි පහර තැබූ ස්ථානයටම මම දෙවෙනි වෙඩි පහර ද එල්ල කළෙමි. දෙවෙනි වෙඩි පහරින් ඌ බිම නොවැටුනු අතර කකුල් වලට මන්දගාමී ලෙස බලය ගනිමින් නැගී සිටින්නට අපහසු උත්සාහයක යෙදී සිටියේය. මම තෙවෙනි වරටත් වෙඩිපහර එල්ල කළෙමි. එය උගේ අවසානය විය. එම පහරින් ලත් වේදනාවෙන් ඉතිරිව තිබූ ජවයද සිඳී ගිය අලියා ඇදගෙන වැටුනේ ගල්පර්වතයක් සේය. උගේ උදරය ගසක් මෙන් ඉහළට එසැවී තිබිණි. ඌ අවසන් වතාවට කුංඡනාදය කළේය. ඉක්බිති අලියා සම්පූර්ණයෙන්ම බිම ඇදවැටුණු අතර එහි කම්පනය බිම දිගා වී සිටි මටද දැනුනේය.

මම නැගී සිටියෙමි. ඒ වනවිටත් බුරුමවරු මා පසුකරමින් අලියා දෙසට ගමන් කරමින් සිටියහ. අලියා නැවත නැගී නොසිටින බව සනාථ වුවද ඌ තවමත් මියගොස් තිබුනේ නැත. ඌ රිද්මයානුකූලව දීර්ඝ සුසුම් හෙළන විට උගේ එක් පැත්තක් වේදනාකාරීව ඉහළ පහළ යමින් තිබිණි. පළල්ව විවර වී තිබූ උගේ මුඛයෙන් සුදුමැලි වූ රෝස පැහැති උගුරේ පහළ අඳුරු ගුහාවක් ලෙස මට පෙනිණි. ඌ මියයන තෙක් බොහෝ වේලාවක් බලා සිටියද උගේ හුස්ම ගැනීම දුර්වල වන බවක් දකින්නට තිබුනේ නැත. අවසානයේදී මා සතුව තිබූ අවසන් උණ්ඩ දෙකත් උගේ හදවත ඇතැයි සැකකළ ස්ථානයට එල්ල කළෙමි. රතු වෙල්වටයක් සේ ඝන රුධිරය ගලා ආවද ඌ තවමත් මියගොස් නැත. වෙඩි පහර එල්ලවන විට උගේ සිරුර දශමයක්වත් කම්පා නොවීය. අලියාගේ වේදනාත්මක සුසුම් ස්වරයට විරාමයක් තබන්නට වෙඩි පහරටද නොහැකි විය. ඌ ඉතා සෙමෙන් අධික වේදනාවෙන් මියයමින් සිටි අතර කොහේදෝ සිට ආ හඬකින් මට කියා සිටියේ කිසිදු උණ්ඩයකට අලියාට තවදුරටත් හානියක් කළ නොහැකි බවය. මියයාමටවත්, නැගී සිටීමටවත් බලයක් නොමැතිව වැතිර සිටින මරාදැමිය නොහැකි මේ දැවැන්තයාගේ දර්ශණය ඉතා භයංකර එකක් විය. උගේ බිහිසුණු ශබ්දය අවසන් කළ යුතු යැයි මට හැඟිනි. මගේ කුඩා රයිෆලය අතටගත් මම උගේ උගුරට හා හදවතට වෙඩි පිට වෙඩි වරුසාවක් එල්ල කළෙමි. එය කිසිදු බලපෑමක් ඇතිකළ බව පෙනෙන්නට නොතිබිණි. ඔරලෝසුවක ටික් ශබ්දය මෙන් උගේ හුස්ම ස්ථාවරව පැවතිණි.

තවදුරටත් එය බලාසිටීමට නොහැකි වූ තැන මම එතැනින් ඉවත්ව ආවෙමි. අලියා මියයාමට පැයභාගයක් ගතවූ බව මට දැනගන්නට ලැබිණි. මම එතැනින් එනවිටත් බුරුමවරුන් බාල්දි හා කූඩ රැගෙන යන අයුරු මම දුටුවෙමි. සවස් වරුව වනවිට ඔවුන් කටු පමණක් ඉතිරිවන ලෙස අලියා මස්කර තිබූ බව මට ආරංචි විය.

අලියාට වෙඩිතැබීම පිළිබඳව නිමක් නැති සාකච්ඡා ඇතිවිය. අලියාගේ හිමිකරු දැඩි ලෙස කෝපවුවද ඔහු ඉන්දියානුවෙකු නිසා කළහැකි කිසිවක් නොවීය. ඊට අමතරව මා ක්‍රියාකොට තිබුනේ නීතියට අනුකූලවය. අයිතිකරුට පාලනය කරගත නොහැකි වූ විට පිස්සු වැටුණ අලියෙකු, පිස්සු බල්ලෙකු සේ මාරාදැමිය යුතුය. මේ ගැන වාදයේදී යුරෝපීයයන් දෙපිළකට බෙදී තිබුණි. වයසක මිනිසුන් මා නිවැරදි බව පැවසුවද, තරුණයින් පවසා සිටියේ කුලීකරුවෙකු මැරීම වෙනුවෙන් අලියෙකු මරාදැමීම ලැජ්ජාවක් බවය. මක්නිසාද යත් කාලකණ්ණි කුලීකරුවෙකුට වඩා අලියෙකු දහස් ගුණයක් වටිනා බැවිනි. අලියා විසින් කුලීකරුවා මරාදැමීම ගැන මට සතුටක් දැනුණේ එය මා නීත්‍යානුකූලව නිවැරදිකරුවෙක් කිරීම හා අලියාට වෙඩි තැබීම සඳහා උචිත වටපිටාවක් සකස්කර දීම නිසාය. සැබවින්ම මා අලියාට වෙඩි තැබුවේ තනිකරම ස්වදේශිකයින් ඉදිරියේ මෝඩයෙකු වීමෙන් වැළකීම පිණිස බව කිසිවෙක් වටහාගනු ඇතිදැයි මම හැමවිටම පුදුමයෙන් කල්පනා කළෙමි.

Nissanka Rajapaksa

unread,
Dec 30, 2023, 7:26:08 PM12/30/23
to INDRAKA group
62
බයිසිකලය 


ගුණදාස අමරසේකරයන්ගේ රතුරෝස කෙටිකතා සංග්‍රහයේ එන "බයිසිකලය" කෙටිකතාව


''සියදෝරිස් බයිසිකලයක් අරගෙන වගෙයි" යි පාලම අසල වූ කිසිවකු ඔහු පාලම ළඟ වූ කඩ පිළට ගොඩවෙනු දැක කීවේ නළල රැළි ගන්වා සිනහ මුහුණින් යුතුව එදෙස බැලීමෙන් පසුවය. එවැන්නකුගේ දෙනෙතෙහි විස්මය මෙන්ම උපහාසාත්මක සිනහවක්ද විය.

ඔව් දැන් දවස් හතරකට පහකට ඉස්සෙල්ලා ගත්තා. මං හිතුවට වැඩිය ලාබෙට ලැබුණා" යි එවැනි විටක ඔහු කීවේ - තමා පළමුවර එ දෙස බලන්නාක් මෙන් විස්මයෙන් යුතුව බලමින් සිනහවෙන් ඉතිරෙන මුහුණිනි. ඔහුගේ කටහඬෙහි එවැනි වේලාවල ආඩම්බර ගතියක් වී යයි කිසිවකුට සිතෙනු ඇත.

හැබෑටම උඹට කීයක් විතර ගියාද? " යි එසේ කථාවට වැටෙන එකකු ඔහුගෙන් ඇතැම් විටක අසයි.

එවිට ඔහුගේ ස්වභාවයෙන් කුඩා දෙනෙත් තවත් කුඩා වෙයි. ඒවා දීප්තියෙන් දිලිසෙන්නට පටන් ගනී. ඔහු මඳක් කල්පනාකාරීව සිට ඇද පැද උත්තර දෙන්නේ ඒ සියල්ල ගැන මතක් වීම ඔහුගේ සිතට ප්‍රීතිය ගෙන දෙන කරුණක් නිසා විය හැක.

"මේකට සෑහෙන ගණනක් ගියා… ටිකක් ඔය පේන්ට් එක නරක් වුණාට පැදීම… අනිත් ඒවා එහෙම බොහොම හොඳයි. "

"එහෙනම් රුපියල් හතලිහක් විතර වෙන්න ඇති පිටින් නම් වැඩි ඔපයක් නැහැ. "

"ඔව් එච්චර විතර ගියා" යි කී ඔහු නිශ්ශබ්ද වෙයි. කෙසේ වුවද තමා සමඟ පසුව කී කියමන ඔහුගේ සිත නොගනියි.

"පිට ඔපෙන් මොන වැඩක්ද මම කොහොමත් ඉන්නෙ මෙකෙ අලුත් පේන්ට් එකක් ගාලා අලුතෙන් කැලි දමන්න" යි ඉක්බිතිව පිළිතුරු දෙන ඔහු කඩය ඇතුළෙන් ගෙනා සිගරැට් ටින් එකෙහි වූ තෙල් ලාම්පුවට වත් කරයි.

"හා, උඹට මොකෝ රෑ වුණාට බයිසිකල් එකෙන් යන්න බැරිය" යි ඔහු මෙසේ කරනු දුටු කඩය ඇතුළෙහි වූ කිසිවකු කියන්නේ හඬනගා සිනහවෙමිනි. ඔවුන් සියල්ලම තමන් උපහාසයට ලක් කරමින් මෙන් සලකනු ලැබීම ගැන සියදෝරිස් කිසිවිටක නොතැකුවේය. ගෙදරින් පිටදී නෝන්ජලයෙකු වූ ඔහුට බොහෝ දෙනා මෙසේ සැලකුවේ ඔහු තුළ සහජයෙන්ම වූ දුර්වලකමක් නිසා විය හැක. එළලු පැහැති මුහුණක් හා දුඹුරු පැහැති හිසකේ ඇති ඔහු වයසින් අවුරුදු තිස් පහක් පමණ නමුදු, එතරම් වයසක් ගිය කෙනෙකු ලෙස නොපෙනෙයි. ඔහු දෙස බැලූ කිසිවකුට එසේ නොපෙනෙන්නේ, වයසට නොගැලපෙන බැගෑපත් පෙණුමක් ඔහුගේ මුහුණෙහි වූ බැවිනැයි සිතමි. ඔහුගේ මුහුණෙහි මෙන්ම කට හඬෙහිද ඒ බැගෑපත් බව මැනවින් දක්නට ලැබිණ. තමාට වඩා උසස් එකකු හා කථා කරන විට ඔහු ඉඳහිට නවත්වමින්ද සෙමෙන්ද එක්තරා බිය ගතියකින් ද යුතුව කථා කෙළේය.

තමා කියන දෙයෙහි තමාට පවා විශ්වාසයක් නැතැයි යන අදහස ඔහුගේ කථාව, ඇසුවකුට නිතැතින්ම සිතේ. මේ බැගෑපත් බව ඔහුට සහජයෙන්ම ආ දෙයක්ද නැත්නම් බොහෝ කලක් අනුන් යටතෙහි වැඩ කිරීම නිසා ලැබූ එකක් දැයි කීම පහසු නොවේ. ඔහු පසුගිය අවුරුදු කීපය තුළ කළේ අනුන්ගේ රබර් වත්තක් බලා ගැනීමය. අක්කර දහයක් පමණ වූ එහි රබර් කිරි කැපීම මෙන්ම වෙන නොයෙක් කටයුතු කිරීමටද ඔහුට සිදු විය. රබර් ගස් තවම සම්පූර්ණයෙන් වැඩී නැති බැවින් තව කල් යනතුරු කන්දෙහි වල් පැලෑටි සුද්ධ කිරීම, ගල් වැටි දැමීම ආදී නොයෙක් වැඩ ඇතැයි ද ඊට තමාගේ මුළු ජීවිතයම ගෙවෙනු ඇතැයිද ඔහු ඇතැම් මොහොතක කල්පනා කෙළේය. උදේ සිට හවස් වනතුරු වැඩ කළ ද එහි වැඩ සම්පූර්ණයෙන් නිම නොවන්නේ තමාත් තමාගේ බිරිඳත් පමණක් එහි වැඩ කරන නිසා විය යුතු යයි ද ඔහුට සිතිණ. ඔහු සිය පවුල හා ජීවත් වුයේ කන්ද පාමුල වූ මැටියෙන් සාදන ලද කුඩා ගෙයෙහිය. එය පාරෙන් මඳක් ගොඩට වන සේ සෑදුවකි. එහෙත් එහි ගෙමිදුලෙහි මෙහා කොනට පැමිණි විට පාරත් එය වරෙක ඇල අද්දරින්ද වරෙක වෙල් අද්දරින්ද දිව යන සැටිත් බලාගත හැක. සියදෝරිස් ගෙයි පිටුපස වූ කන්දෙහි වැඩ වේලාසනින් නිමකොට පැමිණි ඇතැම් සැන්දෑවක ගෙමිදුල ඒ කොණෙහි පාර දෙසට ඇල වී තිබුණු පොල් කඳ මත වාඩිවී සිය දරුවන් සුරතල් කෙළේය. එය පුදුම ලෙස නැවුණු පොල් ගසකි. එහි මුල කොටස අඩි කීපයක් යනතුරු පොළව හා සමාන්තරව වැඩී තිබුණේය. ඉන් පසුව එය අහස දෙසට වැඩී තිබුණේය. පොල් කඳ මත වාඩිවී සිටි ඔහු, දරුවන්ගෙන් බාලයා උකුලට ගෙන ඈත සිට එන පාරද, ඇතැම් විටක ඈත වූ වෙල් හා කඳු ගැනද කථා කළේය.

ආන්න පුතා අන්න අර බලන්න, අන්න කවුද පාර දිගේ එනවා. අන්න දැක්කයි අර බයිසිකලෙන් එන්නෙ. අර ලොකු රෙදි මිටියකුත් පිටිපස්සේ බැඳගෙන එන්නේ... ආන්න බලන්න.

එවිට උකුලෙහි වූ කුඩා දරුවා ඔහුගේ පපුවට පයක් ගසා ඔහුගේ නැහැයෙන් හෝ උඩු තොලෙන් ඇද්දේය. ඇතැම් විටක කටේ අත දැම්මේය.

"ආන්න බලන්න බයිසිකලේ රෝද කරකැවෙන හැටි ආන්න රූ ගාල වංගුව කැපුව. ඕන්න... ඕන්න... දැන් ඒවි රූගාලා කඩේ ගාවට"

දරුවා ඔහු කී සියල්ල තේරුම් ගත්තාක් මෙන් උකුල උඩ නටමින් කෙළ බේරයි.

"අර බලන්න පුතා තාත්තටත් ඒ වගේ බයිසිකලයක් ඇත්නම් පුතත් වාඩි කරවගෙන රූ කියල යනවනේයි කී ඔහු දරුවා උස්සා සිය මුහුණට ළං කොට ඌ-ඌ- ඌ - ඌ කියමින් සිනහෙමින් හිස සලයි.

තමා බයිසිකලයක් ගත යුතු යයි සියදෝරිස් අධිෂ්ඨාන කළේ දනට අවුරුදු ගණනකට පෙරය. බයිසිකලයක් නොමැතිව තම වැඩ කටයුතු කිරීම ඉතාමත් අපහසු යයිද, එය අත්‍යවශ්‍ය යයිද ඔහු බොහෝ විට තමාටම අවධාරණයෙන් කියා ගත්තේය. බයිසිකලයක් නොමැතිව සිය වැඩ කටයුතු කෙසේ කළ හැකිද? ඔහුට උදේට සැතැප්ම දෙක තුනක් ඇවිදීමට තිබේ. ගෙයි පිටිපස වූ කන්දෙහි රබර් කිරි එකතු කිරීමෙන් පසු ඔහු ඉක්බිතිව හැතැප්ම තුනක් පමණ පයින්ම යා යුතුය. හැම දිනම ගෙදරින් පිටවන විට උදේ අට පසුවී ඉවරය. එවිට පාරට සම්පූර්ණයෙන් අව්ව වැටී තිබේ. උදය නිසා තවම පාර රත්වී නැත. එහෙත් අහසට ඇරුණු පෙදෙසෙහි හිරු රැස් චණ්ඩ ලෙස විහිදී ඇත. මුවාවක් වනසේ ඒ පැත්තෙහි ගසක් කොලක් නොමැති වීම ගැන බොහෝ විට සියදෝරිස් දොස් නැගුවේය. "ගස් ටිකක් වවල තිබුණ නම් එහෙම පිටින්ම වැහෙනව නේ. මිනිසුන්ට කිසි දෙයක් තේරෙන්නේ නැහැ. එහෙත් දුෂ්කර, එහි සිට වැඩ ඉවර වූ පසු දවල් දොළහට පමණ ආපසු ඒමය. එවිට පාර රත් කළ යවටක් සේ රත්ය. හිරු රැස් නිසා අවට දිලිසෙයි. ඉරෙහි චණ්ඩ භාවය නිසා අවට වියළී ඇත. බැනියමකින් හෝ අන්කිසිවකින් ආවරණය නොවූ උඩු කයද, හිසද, දෙපාද එක ලෙස පිව්වෙයි. ඔහු ඇතැම් විටක තවත් දෙපා පිච්චෙනු ඉවසා ගත නොහැකිව දුඹුරු පැහැති තණකොල ගොම්ම දිගේ ගමන් කෙළේය. මෙසේ දුක සේ ජීවත්වීමට වඩා ගෙදර නිරාහාරව සිටීම යෙහෙකැයි ඔහුට එසේ ගමන් කරන බොහෝ වේලාවල සිතිණ. මෙසේ ගමන් කරන විට කිසිවකු බයිසිකලයකින් හෝ අන් කිසිවකින් යනු ඔහුට පෙනේ. ඔහු ඒ දෙස බැලුවේ ඊර්ෂ්‍යාවෙන් බව ඔවුනට ද තමාටද ශාප කර ගනිමිනි. ඒ සියල්ල තමා අඩි දහයක් යෑමටද පෙර අතුරුදහන් වෙයි. බයිසිකලයේ රෝද වේගයෙන් කරකැවී ගොස් අතුරුදහන්වන සැටි! එහි සිටින්නාට අව්වෙහි චණ්ඩ භාවය බිඳකුදු නොදැනෙනු ඇත. ඒ සියල්ල සුළඟෙහි ඉවත් වූවාක් මෙන් නොපෙනී යයි. ඔහුගේ ඊර්ෂ්‍යාව එයින් දියුණු විය. තමාට බයිසිකලයක් ගත හැක්කේ කවදාද? ඊට තව බොහෝ කල් යනු ඇත. ඊට අඩු ගණනේ රුපියල් හතලිස් පහක් පමණවත් අවශ්‍ය වනු ඇත. එහෙත් එතෙක් ඉතිරි කිරීමට කෙතරම් කල්යාද? ඉතිරි කරනු වෙනුවට ඔහුට බොහෝ මාස වල වැඩියෙන් රුපියල් දෙක තුනක් පමණ ණයට ගැනීමට සිදුවේ. එයද ගත යුත්තේ දවස් තුන හතරක් නිකම් වැඩ කොට කන පින්දම් කීමෙන් පසුවය. එහෙත් එසේ මුදල් එකතු කොට බයිසිකලයක් ගත් විට තමා එයින් යන සැටි ගැන ඔහු කල්පනා කෙළේය. එවිට කකුල් රිදීමක්වත්, අව්වෙහි පිච්චීමක්වත්, කාලය නාස්ති වීමක්වත් සිදු නොවේ. එවිට තමන්ද අන් අය මෙන් කිසිවක් ගැන නොතකා එය පැදයනු ඇත. දැන් අව්වෙන් වේලෙන මුළු පෙදෙසම පසු කිරීමට එවිට යන්නේ මිනිත්තු කීපයක් පමණකි. බයිසිකලය වංගුවල නැමෙමින්ද, සුළඟ මෙන් වේගයෙන්ද නොපෙනී යනු ඇත.

එහි රෝද දෙස බලා සිටින්නකුට ඒවා පොළොවට උඩින් යන්නාක් මෙන් පෙනෙණු ඇත. ඒ ගැන සිහි කරන ඔහුගේ සිත ප්‍රීතියෙන් නටයි. ඔහුට දුක්මුසු වර්තමානය ද එවිට අමතක වේ. තමා බයිසිකලයක් පැදගෙන 'රූං' කියා යන සැටිද ඈත සිට බලන්නකුට පුදුමයක් මෙන් එය වංගු ආදියෙහි නැමෙමින් නිමේෂයකින් නැති වී යන සැටිද ඔහු තමාගේ සිතෙහි මවා ගත්තේය. වේගයෙන් යන ඇතැම් මොහොතක දූවිල්ල ලාකඩක් මෙන් එය වසා පැතිරෙනු ඇත. ඒ සියල්ල කෙතරම් රමණීයද?

රුක්මලගොඩ සිට බොහෝ වෙහෙස වී පැමිණි ඇතැම් දිනයක ඔහු සිහිනෙන් දුටුවේද මෙවැනි දේය. බොහෝ හිරිහැර විඳිමින් සිටින තමාට හදිසියේ බයිසිකලයක් හමු වී තිබෙනු ඔහු දුටුවේය. එය වඩා අලුත් බයිසිකලයක් නොවුවද එහි ගාන ලද පාට නිසා එහි දිස්නයක් තිබුණේය. එහි ලේබලයේ වූ සිංහයාගේ රූපය රත්රන් පාටින් බැබලුණේය. එහි රතු පාට සීට් එකක් විය. රතු පාට සීට් එක ඔහුගේ සිත ගත්තේය. බයිසිකල් සිටි සියල්ලම රතු පාට විය යුතු යයිද ඔහු කල්පනා කළේය. ඉක්බිතිව තමා එහි නැඟී යන සැටිද ඔහු දුටුවේය. බයිසිකලය පාරෙහි පමණක් නොව කඳු අතරද වෙල් වල ද, වරක් ඒ දණ්ඩක් දිගේද වේගයෙන් ගියේය. මෙසේ යන අතර එය හදිසියේ නැවතුනාක් මෙන් ඔහුට දැනිණ. කවුදෝ පිටුපසින් වේගයෙන් තල්ලු කළේය. බයිසිකලයද ඔහු ද දඩස් ගා ඇලට ඇද වැටෙයි. එවැනි මොහොතක ඔහු බියෙන් හා ශෝකයෙන් කම්පිත වෙමින් නැගිට්ටේය. එහෙත් ඒ ගැන ඔහු පසු දින ද සන්තෝෂ විය.

උදේ නැගිට තේ වතුර බොන අතර ඔහු ඒ ගැන සිය බිරිඳ සමඟද කීවේය.

දන්නවද, මම ඊයෙ හීනෙන් දැක්ක බයිසිකලයකින් යනව. ඒක හොඳ අගේ ඇති අලුත් බයිසිකලයක් ඒකට...  පස්සෙ මමත් ඒකත් එක්කම ඇලට වැටුණා."

ඔහුගේ බිරිඳ ඔහුගේ සිතෙහි ස්වරූපය නො හඳුනයි.

"ඔය සෙම් කෝප වෙලා වෙන්න ඇති. වතුර පෙනෙන්නේ සෙම් කෝප වුණාම. ටික දවසකටවන් හේනේ වැඩ නවත්වන්න හොඳයි. මුළු දවසෙම ගිනි කට්ටේට පායලා හැන්දෑවට වහිනවා. ඕකෙන් තමයි සෙම් කෝප වෙන්නෙ. මාත් දැක්ක පෙරේද හැන්දෑවෙ වතුර ගලලා තියෙනවා."

ඔහුගේ බිරිඳ ඔහු හා කුලුපග බවෙන් යුතුව කථා කරන්නේ කලාතුරකිනි. සාමාන්‍යයෙන් ඔහු සිය බිරිඳට සැලකුවේ තද පරුෂ ගතියෙනි. ඇ ගෙදර වැඩ කිරීමටද දරුවන් හැදීමටද නොදත් මෝඩ ගැහැනියකැයි ඔහු බොහෝ විට කීවේය. තමා ගෙදර එනතුරු කෑම නූයා හෝ දරුවන්ට කෑම නොදී තිබුණ ඇතැම් දවසක ඔහු ඈට තැලුවේය. තමාට ඈ බයෙන් හා ගෞරවයෙන් යුතුව සලකතියි යන හැඟුම ඔහුගේ ප්‍රීතියට කරුණක් විය. ඈ හුඟක් මෝඩ ගති ඇත්තේ ඈ ඉස්කෝලයේ තුන් වෙනි ප්‍රමාණය දක්වා ඉගෙන ගත් බැවිනි. ඉස්කෝලේ ඉගෙන ගැනීම ගෑනුන්ට හොඳ නැහැ" යි ඔහු බොහෝ විට සිතුවේය. එසේ වුවද ඈ ඔහු සිතන තරම් මෝඩ තැනැත්තියක් නොවූවාය.

"ඒක නොවෙයි මට බයිසිකලයක් ලැබෙන්න වෙන්න ඇති. මං දැනට මාසෙකට විතර ඉස්සෙල්ලත් හීනෙන් දැක්කා. ලේල්වල බයිසිකලයක් විකුණන්න තියෙනවලුයි" ඔහු කීවේ තමාගේ බිරිඳට තමා කියන කිසිවක් නොතේරෙතියි යන හැඟුමෙන් යුතුවය.

"බයිසිකලයක් ගන්න ඕන වුණාට කොහේද සල්ලි තියෙන්නේ. මම ඊයේ රුපියල් දෙකක් ණයට ඉල්ල ගෙනයි සමුපකාරෙන් බඩු ගෙනාවේ. ගිය මාසයේ මද්දුම මහත්තයගෙන් ගත්තු ණයත් දෙන්න තියෙනව.""

උඹට මක්කටද සල්ලි වගක් මට තව රුපියල් දහයක් තියෙනව නම් බයිසිකලේ ගන්න හැටි මං දන්නවා යි ඔහු පිළිතුරු වශයෙන් අහංකාර ලීලාවෙන් කීවේය. ඉක්බිතිව ඔහු කිසිවක් මතක් වූවාක් මෙන් ගේ තුළට ගියේය. එය කුඩා ගෙයක් වුව ද එහි කාමරයක් තිබේ. එය මැද සාලය දෙකට වෙන් කිරීමෙන් සාදන ලද්දකි. ඊට තිබුණේ එක් ජනේලයකි. කෝටු හරහට හා දිගට බැඳීමෙන් ආවරණය කොට තිබීම නිසා ඉන් ඇතුළු වූයේ ස්වල්ප ආලෝකයකි. ජනේලය අසල බිත්තියෙහි කුප්පියක් ගසා තිබුණේය. ඊට උඩින් අවුරුදු ගණනක දැලි බැඳී තිබිණ. බයිසිකලය ගත් විට එය මෙහි තැබිය යුතු යයි ඔහු මුල සිටම කල්පනා කෙළේය. ඊට ඉබ්බෙක් දැමීය හැකි දොරක් වූ බැවින් එය ඊට ඉතා සුදුසුය. සාලයෙහි අනික් කොටසෙහි ඇඳක් තබා තිබුණේය. ඇඳෙහි තැන්දට රෙද්දක් දමා නොතිබුණේය. එහි රාත්‍රියට ඔහුගේ පටියද, ලේන්සුවද, දරුවන්ගේ රෙදි කැබලි ද දමනු ලැබේ. ඇඳ අසල වූ මේසයට උඩින් බිත්තියෙහි කවි කොලයක්ද, නූල් බෝලයක මුද්දරයක්ද, පාට ඡන්ද කොලයක්ද අලවා තිබුණේය. එහි "යූ. ඒ. කුලතිලක වෙද රාළහාමිට ඡන්දය දෙමු" යි රතු අකුරින් ලියා තිබුණේය. මේසය අසළට පැමිණි ඔහු ඉනෙහි සඟවා තිබූ යතුර ගෙන එය ඇරියේය. වට පිට බැලූ ඔහු එහි තබන ලද සිගරැට් ටින් එක සෙමෙන් එළියට ගෙන ගනින්නට විය. එහි ඇත්තේ අවුරුදු දෙක තුනක පමණ සිට ඔහු ඉතා අමාරුවෙන් එකතු කරන ලද මුදල්ය. හැම දිනම පඩි හම්බ වූ දිනයෙහි ඔහු එහි ශත පනහේ කාසියක් හෝ රුපියලක් දම්මේය. එය එහි වූ බව බිරිඳ හෝ අන් කිසිවකු නොදනියි. බිරිඳ එය දනිත් නම් කිසිවිටක එය ඉතිරි කරගත නොහැකි යයිද ඔහු සිතුවේය. සෙමෙන් වට පිට බලමින් ගණන් කළ ඔහු ඒවා යළිත් එහි දමා ලාච්චුව යතුරු ලා වැසුවේය. "රුපියල් තිස්පහයි. තව රුපියල් දහයක් ඇත්නම්" යි කාමරයෙන් එළියට පැමිණි ඔහු තමාටම කියා ගත්තේය.

මෙසේ මාස කීපයක් ගතවන්නට ඇත.

පසුගිය ඔක්තෝම්බර් මාසයේ රබර් මිල බෙහෙවින් නැග්ගේය. ඒ මාසයේ අන්තිමෙහි සියදෝරිස්ට රුපියල් දහයක් වැඩියෙන් ලැබුණේය. එදින ඔහු ගෙදර ආවේ ඊට පෙර කිසිවිටක නොවූ ප්‍රීතියකින්ද යුතුවය. ගෙදර එන අතර ඔහු කඩයටද ගොඩ නැග්ගේය. තමාගේ අභිමතාර්ථය ඉෂ්ට වන අයුරු දකින ඔහුගේ සිත ප්‍රීතියෙන් උදම් වෙයි. ඔහුට ඒ ගැන කඩයෙහිදී කථා කිරීමට උවමනා විය. එහෙත් කිසිවකු ඒ ගැන යමක් සිතතියි බියෙන් ඔහු එය කෙළින්ම නොකීවේය.

"හෙට ලේල් වලට යන බස් එකක් තියෙන්නේ කීයටද? " යි ඔහු කඩයෙහි වූවකුගෙන් ඇසුවේය.

"කොයි වෙලාවටත් තියෙනවා... මොකෝ යන්නද? "

"ඔව් මට උවමනාවක් තියෙනවා... "

ඉක්බිතිව ඔහු එහි වූ කිසිවකු සමඟ පොදුවේ බයිසිකල් ගැන කථා කරන්නට විය.

"මහත්තය හැබෑටම රැලේද හොඳම බයිසිකල් ජාතිය? ''

"ඔව්" එහි වූ තැනැත්තා නුවමනාවෙන් මෙන් පිළිතුරු දුන්නේය.

"ඔව් මාත් හිතනවා ඔය හම්බර්, හර්කියුලිස් බයිසිකල් වලට වැඩිය පරණ උනත් රැලේ බයිසිකලය හොඳයි. මහත්මයා ළඟ තියෙන්නේ රැලේ බයිසිකලයක්ද?"

නැහැ ඒක හම්බර් එකක්. රැලේ එක ඊට වැඩිය හොඳයි."

එයින් ඔහුගේ සිත ප්‍රීතියෙන් ඉපිලෙන්නට විය. රැලේ බයිසිකල් ගමේ වැඩි දෙනෙකුට ද නොමැත. එයින් අලුත් එකක් ඇත්තේ තමාගේ ස්වාමියාට පමණකි. එය ගත් අලුත බොහෝ දෙන ඒ ගැන කථා කළ සැටි ඔහුට මතකය. තමාට රැලේ බයිසිකලයක් ගත්විට ඇතැම් විටක ඒ ගැන කථා කිරීමටද බැරි නැත.

එදින ගෙදර ගිය ඔහු බිරිඳ සමඟද කථා කළේ උඩඟු ලීලාවෙනි. ඔහු ගෙදර වූ කාමරයේ පැත්තක් අස් කෙළේය. කොනක වූ පැදුරු සහ බංකුවක් ද පැත්තකින් තැබූ ඔහු එහි බයිසිකලයක් තැබීමට සෑහෙන ඉඩ තරම් තුන් හතර ගුණයක් එළි කළේය. එදින රාත්‍රි නිදාගැනීමට ගිය ඔහු බිරිඳට තමාට උදයෙන් අවදි කරන ලෙසද කීවේය.

"හෙට උදෙන්ම කූද්දන්න ඕන. මට ලේල්වලට යන්න තියෙනවා."

"මොකටද?'' යි මඳක් නිශ්ශබ්දව සිටි බිරිඳ ඇසුවාය.

"ලොකු උවමනාවකට.... මට වරද්දන්නෙ නැතුව කූද්දන්න ඕන. හෙට උදේට වහින එකක් නැහැ නේද?"

"කියන්න බැහැ. මේ දවස්වල උදේට ටික ටික වහිනවා. අද හවස මීදුම තිබුණ නිසා මීට පස්සෙ ඉඳල මගේ හිතේ පායන්න පටන් ගනීවි" යි බිරිඳ පිළිතුරු දුන්නාය. ඔහු වෙනදාට වඩා සෞම්‍ය ලෙස කථා කරනු ඇසීම ඇගේ පුදුමයට හේතු විය.

"මෙයාට වැඩියෙන් රුපියල් දහයක් හම්බ වුණාය කියන්නේ ඇත්තද? අද මද්දුම මහත්මයා එහෙම කිව්වා"

"මොන බොරුද; ඒක බොරුවක්. "

"එහෙම නම් මම කියන්න හිටියේ හෙට ලේල්වල ඉඳල එනකොට මටත් හැට්ටෙක රෙදි ගේන්නය කියන්න. මේ දරුවන්ටත් අඳින්න මොකවත් නැහැ. මම ඊයේ රුක්මල්ගොඩින් පරණ පොඩි ගවුමක් ඉල්ලගෙන ආව.”

පසුදින උදයෙහි ලේල්වල ගිය ඔහු ආපසු පැමිණියේ බයිසිකලයෙනි. එවිට ඔහුගේ සිතෙහිවූ ප්‍රීතිය කෙතරම්ද යත් ඔහු කීප විටක් ඇදගෙන වැටීමටද ගියේය. වෙනදා පයින් පසු කළ පෙදෙස් පසු කළ ඔහු එදෙස බැලුවේ මහත් අහංකාර ලීලාවෙනි.

පෙරට යන සැටිද, ඇතැම් වංගුවකදී එය තමා සමඟම නිමේෂයකින් ඇලවී යන සැටිද දකින ඔහුගේ සින ප්‍රීතියෙන් වියරු වැටෙන්නාක් මෙන් වෙයි. ඇතැම් තැනකදී ඔහු හිස කෙළින් කොට බයිසිකලය වේගයෙන් පැද්දේය. ඔහු කඩමණ්ඩිය පසුකර යනු දුටු කීප දෙනෙක් සිනහවෙමින් ඇතැම් දේ කීහ. 'අද සියදෝරිස්ට නින්ද යාවී' යි ඉන් ඇතැමෙකු කියනු ඔහුට ඇසිණ.

එදින ඔහු ගෙදර එන විට සවස් වීමට ආසන්න වී තිබුණේය. ඔහු බයිසිකලයෙන් එනු දුටු ඔහුගේ බිරිඳ පුදුම වූවාය. "මෙයා උදෙන්ම ගියේ බයිසිකලයක් ගේන්නද යි ඈ දෑස ඇදහිය නොහැක්කාක් මෙන් ඇසුවාය.

"ඔව් මෙන්න උඹටත් හැට්ට රෙද්දක් ගෙනාවා" යි ඔහු මෙතෙක් ඉනෙහි ගසාගෙන තිබුණු රෙදි කැබෙල්ල ගෙන ඈට දුන්නාය. වහා බිඳයන කිසිවක් ගන්නා මෙන් එය ගත් ඇගේ මුහුණ ප්‍රීතියෙන් ඉතිරෙන්නට විය. ' මං අද ලේනහතු වගයක් හැදුවා' යි ඉක්බිතිව ඈ කීවේ. ඔහුගේ සිත තවත් සතුටු කරන අටියෙනි. ඔහු ලේ නහතු කෑමට ප්‍රිය බව ඈ දනී. තේ වතුර බීමටත් පෙර සියදෝරිස් බයිසිකලය මිදුලට ගෙන පිස දමන්නට විය. ඇඳිරි වැටෙන තුරු ඔහු එය සෙමෙන්ද සීරුවෙන් ද පිස දැම්මේය. ඔහුගේ දරුවෝ ඔහු අසලට වී එදෙස බලා සිටියහ. බයිසිකල් රෝදයෙහි ස්පෝක් ඇල්ලීමට ඉන් එකකු තැත් කළ විට ඔහු වහා වළකාලුවේය.

උඹලා මේව අල්ලන්නේ නැතුව බලාගෙන ඉඳපල්ලා. පැය දෙකක් පමණ පිසදා ඉවර කළ පසු ඔහු එය රැගෙන ගොස් කාමරයෙහි තැබුවේය.

එදින රෑ නින්දට ගිය පසු ද ඔහු කථා කළේ ඒ ගැනය. අඳුරෙහි වැතිරී සිටි ඔහුගේ බිරිඳ ඔහුගේ කථාව අසා සිටියාය.

"රැලේ බයිසිකල් වැඩිය නැහැ. මේ ගමේ වුණන් තියෙන්නේ බොහොම ටිකයි" යි ඔහු ඈට සියල්ල විස්තර කිරීමට මෙන් කීවේය. ඔහුගේ කටහඬෙහි මොලොක් ගතියක් තිබුණේය. එය ඈ තුළ වූ ප්‍රීතිය දියුණු කරන සුළු විය.

අර දෙවරගෙදර තියෙන්නේ මොන බයිසිකලයක්- ද?" යි ඈ ඔහුගෙන් ඇසුවාය.

"ඒක රැලේ බයිසිකලයක් නෙවෙයි. වෙන මොකක්ද එකක්"

"ඒකෙ ඉස්සරහ කණ්ණාඩිය තියෙන්නේ මොකටද? අපේ බයිසිකලයේ එහෙම නැහැ නේද? " ඈ බයිසිකල් ගැන කථා කරනු ඇසීම ඔහුගේ ප්‍රීතියට හේතු විය. ඈ එතරම් මෝඩ නැතැයි ද ඔහුට සිතුනේය. ඔහු ඒ සියල්ල ද බයිසිකල් ගැන විස්තරයක්ද ඈට කීවාය.

"මේක මම හේනට යනකොට කාමරේ දාල දොර වහල යතුරු දාලයි යන්නේ. ඒකට පුංචි ඈයින්ට කිට්ටුවෙන්න දෙන්න එපා. "

" ඒ මොකෝ?"

"වෙන මොකටවත් නෙවෙයි, උන් ඒව මේව නැති කරල හුරලා දාවි. ඒ වගේම කවුරුත් ඉල්ලුවොත් කියන්න ඕන ඒක නරක් වෙලා කාමරේට දාලය කියල. එහෙම නැතුව බේරෙන්න බැහැ".  ඈ ඔහු කී සියල්ල අනුමත කළාය. ඉන්පසු සියදෝරිස් ජීවිතයේ ප්‍රධාන කාර්යය ලෙස සැලකුවේ තමාගේ බයිසිකලය රැක බලා ගැනීමය. ඔහු එය දිනපතා දෙතුන් වරක් පිස දම්මේය. ගමනක් ගොස් ආපසු පැමිණි විගස ඔහු පළමුවෙන්ම කළේ එය පිසදා කාමරයේ තැබීමය. ඔහු තම දරුවනට ඊට අතගැසීමට හෝ ඉඩ නුදුන්නේය.

වරක් ඔහුට රුක්මල ගොඩදී බයිසිකල් පිළිබඳ කොල වගයක් සම්බවිය. ඒවා එහි වූ රැලේ බයිසිකලය ගනිද්දී දෙන ලද පත්‍රිකාය. ඔහු ඒ සියල්ල ගෙදර ගෙනාවේය. ඔහුගේ ගෙදර ඉස්සරහ බිත්තියේ සීවලී පින්තූරයක්ද, ජෝජ් රජ්ජුරුවන්ගේ හා බිසොව කැලැන්ඩරයකින් කපාගත් පිංතූරයක්ද අලවා තිබේ. ඔහු තමා ගෙනා කොලද ඒ අසලම ඇලවූයේය. ඉන් එකක වූ කොට කලිසමක් හා කමිසයක් වැනි කිසිවක් හැඳගත් තරුණියක් බයිසිකලයක් අල්ලා ගෙන සිටිනු දක්වන රූපය ඔහුගේ සිත ඇද ගත්තේය.

කාමරයට යෑමට තම දරුවනට ඉඩ නුදුනද බයිසිකලය ඔවුන්ගෙන් ප්‍රවේසම් කරගත හැකි වූයේ ඉතා අමාරුවෙනි. දිනක් ඔහු දහවල හේනේ සිට ගෙදර පැමිණියේය. එදින ඔහුට බයිසිකලය වූ කාමරය යතුරු දා යෑමට නොහැකි විය. ඔහු ගෙදර එනවිට ඔවුන් සියලු දෙනම බයිසිකල් රෝදය කරකවමින් ද, අඟුරු කැබෙල්ලකින් එහි නොයෙක් දේ අඳිමින්ද සිටියහ. එය දුටු ඔහුගේ කෝපය නිම්හිම් නැති විය. ඔහු වහා ගොස් ඔවුන් ඇදගෙන වුත් කාමරයෙන් දොට්ට දම්මේය. ඉක්බිති ඔහු බිරිඳට කථා කෙළේය.

"මම නැති වුණාම උඹට බැරිද මේ කාමරේ දොර වහල තියන්න. මං නැත්නම් මේකෙ කිසි දෙයක් කෙරෙන්නෙ නැහැ" බිරිඳ කථා නොකර සිටියාය. ඔහුගේ කෝපය දියුණු විය. ඔහු ඈ අසලට පැමිණ ඇගේ බෙල්ලෙන් අල්ලා තල්ලු කළේය. "තොට මේකෙ අගේ තේරෙන්නෙ නැහැ. අවුරුදු ගණනක් හම්බු කරල ගත්තු දේ පරිස්සම් කරන්න තාට ඕනකමක් නැහැ". ඔහුගේ කටහඬ යෙන් දෙදරුම් කෑවේය.

ඉක්බිතිව ඔහු බයිසිකලය සම්පූර්ණයෙන් පිසද කාමරයෙහි දමා දොර අගුලු ලෑවේය. ඔහු බැයිසිකලය පාවිච්චි කළේද හැම දිනම නොවේ. ඇතැම් දිනයක මුළු රාත්‍රියම වැස, පාර බෙහෙවින් මඩ වෙයි. පාරෙහි තැනින් තැන විශාල මඩ වලවල් සෑදේ. කරත්ත යෑම නිසා සෑදුනු ඇලිවල මඩවතුර එක්වී තිබේ. පාර දෙපසෙහි තණකොළ අසලද දුඹුරු පැහැති මඩ නිසා එරෙයි. එවැනි දිනයෙක ඔහු බයිසිකලය කාමරයෙන් එළියට නොගත්තේය. එදින ඔහු රුක්මල ගොඩ ගියේද පයිනි. එසේ යන ඔහු දුටු එකකු ප්‍රශ්න කරන්නේ තමා කාරණය සම්පූර්ණයෙන් නොදන්නා නිසා නොවේ.

මොකෝ සියදෝරිස් අද පයින්ම !

නැහැ. මම බයිසිකලය ගෙදර තියල ආවා.

"එහෙනම් පැව් එකක් වෙන්න ඇති" යි කී එසේ ඇසූ තැනැත්තා හඬ නගා සිනහ වෙන්නේ තමා සියල්ල දන්නා බව හඟවනු පිණිසය.

කල්යත්ම සියදෝරිස්ට බයිසිකලය පිළිබඳ තම සිතෙහි වූ ඇල්ම දියුණු විය. දැන් වෙනදා මුළු දවසම යන වැඩට ඔහුට යන්නේ පැය කීපයකි. බයිසිකලයෙහි නැගී වෙනදා පයින් පසු කළ පෙදෙස් කුරුල්ලකු මෙන් වේගයෙන් පසු කර යන විට ඔහුගේ සිත ප්‍රීතියෙන් ඉපිළෙයි. ඔහු ඇතැම් මොහොතක තමාට අයිතිවූ භාග්‍යය ගැන සිහිකර ප්‍රීති විය. ඔහු ඒ ගැන නොයෙක් දේද සිතුවේය. මිනිසුන්ට මේ ජාතියේ වැඩ කරන්නේ ගිය ජාතියේ ඔවුන්ගෙන් ණය ගත් උදවියයි. බයිසිකලයද ගිය ජාතියේ තමාගෙන් විශාල ණයක් ගත්තෙකු විය හැක. ඔහු මේ ගැන වරක් සිය බිරිඳ හා කිවිට ඈ ඔහු හා වාද කළාය. "

බයිසිකලයට ගිය ජාතියේ පණක් තියෙන්නේ කොහොමද?'' යි ඇසුවාය.

උඹ දන්නේ නැහැ. ගස් ගල් වලටත් පණ තියෙනවා. බුදුහාමුදුරුවෝ හාමුදුරුවන්ට තණ කොළ ගහක්වත් කඩන්න එපයි කියල තියෙන්නෙ ඒකයි. අපේ කුඹුරු වතුපිටි වලට පණක් නැත්නම් ඒව අපිට හරිහම්බු කරල දෙන්නේ කොහොමද? ඒවාටත් අපිට වගේ නැති වුණාට පණක් තියෙනවා.

එය තමාගේ භාග්‍යය උදාකළේ යයිද ක්‍රමයෙන් සියදෝරිස්ට සිතෙන්නට විය. දැන් ඔහුගේ වතුවල පලදාව වැඩිය. ඔහුගේ කොරටුවෙහි මේ වාරයේ කෙසෙල් කැන් කීපයක් පිට පිට වැටුණේය. ඔහු එළි කළ කොටසෙහි ගොයම ද මේ වාරයේ බෙහෙවින් සාර වී තිබේ. දැන් එහි කරල් රන් පැහැ ගැන්වී පොළව දෙසට බරව ඇත.

මෙසේ මාස කීපයක් ගතවී ගියේය.

දැන් රබර් ගස්වල කොළ හැලෙන කාලයයි. කොළ හැලුනු රබර් ගස් පාලු මළානික ගතියකින් යුතුව අහස දෙසට ඇරී තිබේ. රබර් ගස්වලට පෝර දමමින් මුළු දවසම ගෙවන ඔහුට නග්න වූ අතුරිකිලි පාලු ගතියකින් යුතුව නිල් පැහැති හිස් අහස පසුබිම් කොට නැගී සිටින සැටි පෙනේ. දවල් කාලයෙහි තදින් පායයි. හවස්වන විට වැහිලිහිණියෝ හඬ දෙති. උදේ සිට සවස් වනතුරු පෝර දැම්මද, ඉවර කළ හැක්කේ කුඩා කොටසකි. සවස පෝර දැමීමෙන් පසු, පසුදින දමීම සඳහා පෝර ගෙනෙනු පිණිස රුක්මලගොඩ යායුතුය.

දිනක් සවස ඔහු පෝර මිටිය බයිසිකලයෙහි බැඳ තබා එය පාර අයිනෙහි නතර කොට කිසියම් උවමනාවක් සඳහා කඩයට ගොඩ නැග්ගේය. බයිසිකලය වූයේ පාර අද්දරය. කඩය තුළ මුදල් වගයක් ගෙවමින් සිටි ඔහුට කිසිවක් දඩස් ගා මහ හඬින් ඇද වැටෙනු ඇසිණ. ඔහු වහා පාර දෙසට දිව්වේය. එය තමාගේ බයිසිකලය විය යුතු යයි ඔහුට අනුමානයෙන් සිතිණ. ඔහුගේ ඇඟ වේගයෙන් ගැහෙන්නට වූවාසේ ඔහුට දැනුනේය. පාරෙහි බයිසිකලය පෙනෙන්නට නොවීය. ලොරියක් ඈත වේගයෙන් පාලම පසුකොට යනු පමණක් ඔහුට පෙනිණ. වහා පාලම අසලට පැමිණ බැලූ ඔහුට සිය දෑස ඇදහිය නොහැක්කාක් මෙන් විය. ඔහුගේ මද ඇස වහා විවෘත විය. දෙකම්මුල්හි මස්පිඬු ලේ පැහැ ගැන්විණ, හදවතෙහි ගැස්ම ඉවසිය නොහැකි තරම් වේගවත් විය. ඔහුට ඉබේටම කෑ ගැසිණ. බයිසිකලය වූයේ පාලම යට ඇලෙහිය. සිදුවූයේ කුමක් දැයි නොතේරුණාක් මෙන් ඔහු සැලෙන හදවතින් යුතුව එදෙස බලා සිටියේය. ඔහුට සිහි එළවා ගතහැකි වූයේද මෙසේ ස්වල්ප වේලාවක් ගල් ගැසී සිටීමෙන් පසුවය.

එහි අවට වූවෝ ඔහු හා සමඟ එක්ව, ඇලට බැස බයිසිකලය ගොඩ ගත්හ. එහෙත් එහි ඉතිරි වූයේ කැබලි පමණකි. බයිසිකලයෙහි ඉස්සරහ රෝදය සම්පූර්ණයෙන් නැමී බිඳී ගොස් තිබිණ. පස්ස රෝදය ඇලෙහි කණු අතර පටලැවීම නිසා ගතහැකි වුයේ බොහෝ වේලාවක් ඇදීමෙන් පසුවය. එහි කිසිවක් ඉතිරි වී නොතිබිණ.

කල්පනා විරහිතව මෙන් එදෙස බලා සිටි ඔහු එතැන නොරැදී ගෙදර දෙසට ගියේය. මගදී ද අවුල් කල්පනාවේ වැටී සිටි ඔහුට කිසිවක් ගැන සිතිය නොහැකි විය. ඔහුගේ සිතෙහි වූයේ හිස් බවකි. හැඟීමෙන් වියවුල් වු එය වියරු වැටීමට ආසන්න එකකුගේ මෙන් අරමුණෙන් තොරව වේගයෙන් ක්‍රියා කෙළේය. කථා කිරීම හෝ කල්පනා කිරීම ඔහුට රුචි නොවීය.

ඔහු ගෙදර එන විට රෑ බෝවීමට බෙහෙවින් ආසන්නවී තිබුණේය. ගෙමිදුලට පැමිණි ඔහු පොල් කඳ මත වාඩිවී අහස දෙසට විහිදූ දෑසින් යුතුව බලා සිටියේය. ඔහුගේ මුහුණෙහි වූ රත් පැහැය වන විට වැඩි වී තිබිණ. ඔහු කල්පනා විරහිතව එදෙස බොහෝ වේලා බලා සිටියේය. සැඳෑ අඳුර සෙමෙන් ගෙමිදුල අවටද වසා පැතිරි ගෙන එයි. තද රන් පැහැයට හා දම් පැහැයට හුරු වූ වලාකුල් කීපයක් ඈත පාළු වෙල්යායක් උඩින් පාවෙමින් තිබුණේය.

එදින රාත්‍රී ඔහුට නින්ද නොගියේය. ඔහුගේ බිරිඳ බියෙන් ඔහු හා කථා නොකළාය. වරක් ඇ ඔහු අස්වැසීමට තැත් කළ විට ඔහු ඈට කෝපයෙන් බැන වැදුණේය. පැය කීපයක් කල්පනා විරහිත වූවාක් මෙන් සිටි ඔහුට ක්‍රමයෙන් සියල්ල ගැන සිහිවන්නට විය. ඒ හා සමඟම ඔහු තුළ තද ශෝකයක් ඇති විය. මෙතෙක් ගොළුව සිටි ඔහුගේ සිනට පළමු වරට ශෝකයක් ඇතිවූයේ එවිටය. තමා අවුරුදු කීපයක් දුකසේ වෙහෙස වී ලබාගත් එකම දෙය නැති විය. එයින් තමාගේ ජීවිතයේ වැදගත් කොටසක්ද නැති වී යැයි ඔහුට සිතිණ. ඔහු දෑස නොපියා අඳුර දෙස බලා සිටියේය. ඔහුගේ සිතෙහි වූ ශෝකය මඬමින් දඩි කෝපයක් නැගගෙන එයි. එය ඔහුගේ ඇඟ රත්කරවන සුළුය. තමා කෝප විය යුත්තේ කා සමඟද? එය කිසිවකු විසින් කරන ලද්දක් නොවේ. එසේ වුව ද මේ සියල්ල පිටු පසෙහි, තමාට නොවැටහෙන කිසියම් බියකරු බලයක් විය යුතුයි ඔහු කෝපයෙන් දෙනෙත් පියාගත්තේය.

පසුදින ඔහු ගෙදරින් බැහැර නොගියේය. එහෙත් ගෙදර සිටීමද ඔහු වෙහෙස කරවන සුළු විය. ඔහුගේ බිරිඳ බිය නිසා ඔහු හා කථා නොකළාය. මුළු දවසම ගෙදර සිටි ඔහු එදින ඇඳිරි වැටෙත්ම ගෙදරින් පිට විය.

එදින ඔහු ආපසු ආවේ මැදියම් රැයද පසු වූ පසුය. මෙතෙක් කිසි දිනක මත්පැන් දෙතොලෙක නොතිබූ ඔහු ඉන්පසු සිහි නැතිවන තුරු බීමට පටන් ගත් බව ගමෙහි ආරංචි විය.

Arthur Arambepola

unread,
Dec 30, 2023, 8:03:22 PM12/30/23
to ind...@googlegroups.com
ඉස්සෙක්ගේ ඔලුවක්

මෙම කථාව පළමුවර කියවනකොට මට දැනුනේ තමා වෙනුවෙන් කැපවූ, තමා ඉහළට ඔසවා තැබූ පරමාදර්ශී ගැහැණියක් අතහැර බොළඳ පෙමකට යොමුවූ තරුණයෙකු විනාශමුඛයට යන අයුරු කියැවෙන සාම්ප්‍රදායික ආදර්ශ කථාවක් ලෙසටයි.

නුමුත් නැවත සිතාබලන විට මට පෙනෙන්නේ මෙය කුරිරු, ආත්මාර්ථකාමී එහෙත් අතිදක්ෂ ගැහැණියක් පිළිබඳ කථාවක් ලෙසයි.

එම ගැහැණියට මුළ සිටම අවශ්‍ය වූයේ පෙම්වතෙකු නොව තමා විසින් නිර්මාණය කරන ලද මූර්තියකි. කිසිදු ස්වාධීනත්වයක් නැති එම මිනිසා ස්වාධීනත්වය සොයන විට ඈ විසින් ඔහුගේ විනාශයට මග එළි පෙහෙළි කළාය. තමා විසින් ගොඩනැගූ ව්‍යාපාරික ආයතනයේ හිමිකාරිත්වය තම හිටපු පෙම්වතාට හා ඔහුගේ නව පෙම්වතියට පවරන්නේ එම ව්‍යාපාරය තමා නොමැතිව ඉදිරියට නොයන බව දැනුවත්වමය. එම යුවලට මෙම ආයතනය පවත්වාගෙන යෑමට තරම් දක්ෂතාවයක් නොමැති බව ඇයට රහසක් විය නොහැක.

නුමුත් මේ වන තෙක් ඈ කථාව කියන්නේ තමා වෙත පාඨකයාගේ අනුකම්පාව දිනාගන්නා ආකාරයෙනි.

ඇයගේ නියම ස්වරූපය හෙළි වන්නේ ඉන් පසුවය. තම හිටපු පෙම්වතා දරුවන්ද සමග තමා සොයා ආවිට ඈ නිර්දය ලෙස පළිගැනීමට පටන් ගනී. දරුවන් දෙදෙනා තමා බාරයට ගැනීමෙන් ඔහුගේ ස්වාධීනත්වය නැවතත් අහිමි කළාය. ඉන්පසු තමා හට ඔහු විසින් පවසන ලද වදනක් (ඔළු කෑම) නැවත නැවතත් මතක් කර විනෝද වීමට හැකි පරිදි ඉස්සන්ගේ ඔළු කැඩීමේ රැකියාවක් ඔහුට හිමි කළාය.

ඇගේ පරපීඩක ස්වරූපය පරාර්ථකාමිත්වය යන කඩතුරාවෙන් වසාගෙන සිටීමටද ඈ දක්ෂය.



Nissanka Rajapaksa

unread,
Dec 31, 2023, 6:36:38 PM12/31/23
to INDRAKA group
පරිවර්තනය ප්‍රනීත් චානක මුරමුදලි

පහුගිය දශක කීපයක ඉඳන්, “බඩගින්නේ ඉන්න කලාකාරයෝ” ගැන තියෙන උනන්දුව, සැලකිය යුතු විදිහට අඩු වෙලා තියෙන්නේ. ඊට කළින් නම් තනියෙන් ගොඩ දාගත්ත වැඩකින් හරි සල්ලි ටිකක් හොයාගන්න පුළුවන්කම තිබ්බත්, දැන් නම් ඒක කොහෙත්ම කරන්න බැරි වැඩක්. ඒ ඉස්සර; මේවා දැන් ඉතිං වෙනස් කාලවල්.

ඒ දවස්වල, අපේ මේ කතාවෙ වීරයා ‘බඩගිනි කලාකාරයා', මිනිහා මුළු නගරෙම අවධානය දිනාගෙන තියෙනවා. කලාකාරයා දවසින් දවස, බඩගින්නේ ඉන්න එක වැඩි වෙනකොට, මිනිස්සු වැල නොකැඩි මිනිහව බලන්න ඇවිල්ලා තියෙනවා. අඩුම ගානේ දවසට එක පාරක් හරි, හැමෝටම බඩගිනි කලාකාරයාව දකින්න ඕන වෙලා තියෙනවා.

අන්තිම අන්තිම වෙනකොට, සම්මාදම් විදිහට හරි උදව්වක් විදිහට හරි ටිකට් ගත්ත අය; බංකු තියාගෙන, මුළු දවසම වගේ මිනිහගේ කූඩුව ළඟ වාඩි වෙලා ඉඳලා තියෙනවා. ඒ දවස්වල ආයේ ඉතින්, මිනිහට මහ පාන්දරත් පැය කීපයක ෂෝ! රෑට රෑට ලයිට් ගහලා මේවට ආපු මිනිසුන්ව විශේෂයෙන් අනිත් අයට පෙන්නලා තියෙනවා.

ඔන්න කාලගුණේ හොඳ දවසක් ආවොත් ඉතින්, කූඩුව එළියට ඇදගෙන ගිහින්, ළමයි වෙනුවෙන් කලාකාරයාව පෙන්නලා තියෙනවා. වැඩිහිටියො ඉන්න වෙලාවට නම් කලාකාරයා නිකම්ම විහිළුවක් වෙලා; වැඩිහිටියො මේකට ගිහිං තියෙන්නේ ෆැෂන් එකක් විදිහට; නිකං ආරක්ෂාවට වගේ එක එක්කෙනාගේ අත් අල්ලගෙන. ළමයි? ළමයි කලාකාරයා දිහා පුදුමෙන් බලන් ඉඳලා තියෙනවා, කට අරගෙන.

“.. කලාකාරයා තැන තැන තියෙන පිදුරු උඩ ඉඳගෙන ඉන්නකොට; කලුපාට ෂෝටක් ඇදගෙන, සුදුමැලි වෙලා පුටුවකට පයින් ගහනකොට; ඉළඇට පෙන්න පැත්තකට හේත්තු වෙනකොට; පාඩුවේ පුක් මූණ දාගෙන ඉන්නකොට; ටිකකින් බලෙන් ආපු හිනාවක් එක්ක මිනිස්සු අහන ප්‍රශ්නවලට උත්තර දෙනකොට; ‘තමන් කොච්චර වැහැරිලා ද’ කියලා මිනිස්සුන්ට පෙන්නන්න වගේ, කෙට්ටු කකුලෙන් ඇන ඇන, කූඩුවෙන් එළියට අත දානකොට..”

ඒත් මිනිහා, තමන්ගේ ඇතුළට ගිළෙනකොට, මිනිහ අඩුම තරමේ තමන්ට වැදගත් දෙයකටවත් අවධානය දීලා නැහැ; ඒ වෙලාවට කූඩුව ඇතුළේ තිබුණ එකම ගෘහ භාණ්ඩෙ වෙච්ච, ඔරලෝසුවේ කටු සද්දේටවත් කන් නොදී, මිනිහා කට වහගෙන නිකම්ම ඉස්සරහ බලාගෙන ඉඳලා තියෙනවා; එතකොට මිනිහ කරල තියෙන එකම වැඩේ, ඉදලා හිටලා වතුර කෝප්පයකින් තොල තෙමාගන්න එක විතරයි.

දවසින් දවස වෙනස් වෙන ප්‍රේක්ෂකයෝ ඇරෙන්න, නිතරම පරික්ෂාවෙන් ඉන්න නිරීක්ෂකයෝ නැත්නම් මුරකාරයෝ තෝරගෙන තියෙන්නේ රටේ මහජනතාවගේ ජන්දෙන්. සාමාන්‍යයෙන් මේ මුරකාරයො, අමුතු මස්කඩකාරයෝ. එක පාරට තුන්දෙනා ගානේ, දවල් රෑ නොබලා, බඩගිනි කලාකාරයාට හොරෙන්වත් යමක් කන්න නොදී බලාගන්න එක තමයි, මේ මස්කඩකාරයෝ කරන්නේ.

කොහොම උනත්, ඒක විධිමත් විධානයක් වගේම මහජනතාවගේ බය සැක නැති කරන්න හඳුන්වලා දුන්න එකක්. මොකද කලාකාරයා උපවාස කරද්දී, අඩුම ගානේ කවුරු හරි බල කරත්, මොනම තත්ත්වයක් යටතෙවත්, මිනිහා කිසිම දෙයක් කන්නේ නැහැ. ඒත්, මිනිහා නම් නොකා ඉදලා තියෙන්නේ, මිනිහගෙ කලාවේ ගෞරවය, මිනිහටම කන ඒක තහනම් කරපු නිසා මිසක්..

ස්වාභාවිකවම ඉතින් අර නිරීක්ෂකයෝ, එකෙක්වත් මේක තේරුම් ගත්තේ නෑ. එයාලට අනුව බඩගිනි කලාකාරයා, හොරෙන් හරි යමක් කන්න ඉඩ තියෙනවා; එයාලා හිතන්නේ එහෙමයි. ඒ නිසා සමහර වෙලාවල්වලට, රෑට ඉන්න මුරකාරයෝ හොඳට බලාගෙන ඉඳලා, හිතාමතාම කූඩුව ගාව කොනක වාඩි වෙලා, කාඩ් ගහන ගමන්, එයාලට හිතන විදිහට, බඩගිනි කලාකාරයාට උත්තේජනයක් දෙන මොනාවමහරි දෙයක් කරන්න ට්‍රයි කරා. ඒත් මේ වගේ මුරකාරයෝ තරං, වේදනා දෙන තව දෙයක්, කලාකරයාට නැති තරම්. එයාලා මිනිහව මානසිකව වට්ටලා දැම්මා; මිනිහගේ උපවාසේ මිනිහටම පට්ට වේදනාවක් කරා.

සමහර වෙලාවට තමන්ගේ අවුල් ටික ගන්නේ නැතුව, මුරකාරයෝ ඉන්න වෙලාවට, මිනිහා පුළුවන් තරම්, සිංදු කියන්න පටන් ගත්තා; හරියට “තමන්ව සැක කරන එක හරි අසාධාරණයි” කියන්නා වගේ. ඒත් ඒක, එච්චර හරි ගියේ නෑ. මොකද සිංදු කියද්දී උණත් මිනිහට කන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා මුරකාරයෝ හිතුවා; මුරකාරයෝ පුදුම උනා ඒ ගැන; කතාබහ කරා පැය ගණන් ඒ ගැන.

මිනිහ ගොඩක් කැමති උනේ, කාමරෙ තිබ්බ බැක් ලයිට් එක ගණන් නොගෙන, ෆ්ලෑෂ් ලයිට්වලින් තමන්ව ලයිට් කරපු, තමන්ට පිටුපාලා වාඩි වෙලා හිටපු මුරකරයින්ට. ඇස් ගලවගෙන යන්න ලයිට් කරත් අපේ මිනිහට ඒක ගානක් නෑ. සාමාන්‍යයෙන් මිනිහට කොහොමත් නින්ද යන්නේ නෑ; මිනිහ රෙඩි ඕන වෙලාවක, මොකක් හරි කමක් නෑ ලයිට් එකක, පට්ට තදබදයක් තියෙන, බෙරිහං දෙන හෝල් එකක උනත්, බඩගින්නේ නිදි කිරා වැටෙන්න මිනිහට පුළුවන්.

අර වගේ නිරීක්ෂකයෝ එක්ක මුළු රෑම නිදි මරන්න මිනිහ එක පයින් කැමතියි. එයාලා එක්ක විහිළු කතා කියන්න, තමන්ගේ සංචාරක ජිවිතේ ගැන පුරසාරම් දොඩවන්න, ඒ හිලව්වට එයාලගේ කතා අහන්න, තමන්ට ඇත්තටම කන්න දෙයක් කූඩුවේ නෑ කියලා ඔප්පු කරලා පෙන්නන්න වගේ, එයාලව ඇහැරවල තියාගන්න පුළුවන් හැමදෙයක්ම මිනිහ කරේ පට්ට සතුටකින්.

උදේ වෙනකොට තමන්ගේම වියදමින්, රෑ තිස්සේ නිදි මරාගෙන වැඩ කරපු අයට, ගාන වැඩි කෑම අරන් දෙන එක; සාගතෙන් හිටියා වගේ නිරීක්ෂකයෝ ටික ඒවා පොර කකා කන විදිහ දකින කලාකාරයා තමයි ලෝකේ ඉන්න සතුටුම මිනිහා. ඇත්තටම මෙහෙම උදේ කෑම දෙන එකත් අසාධාරණ විදිහට සැක කරන අය හිටියා, ඒත් නිරීක්ෂකයින්ගෙන් උදේ වැඩ මුරේ කෑමත් නැතුව කරන්න කැමති ද කියලා මිනිස්සු අහනකොට, නිරීක්ෂකයෝ තමන්ම ඉදිරිපත් වෙලා, කරුණු පැහැදිලි කරලා ඒකට කැමති උනා. මොනා උනත් මේ හැමෝම, කලාකාරයා ගැන තිබ්බ සැකේ වෙනුවෙන් ඉතාම සීරුවෙන් පෙනී හිටියා.

පොදුවේ ගත්තහම, මේ දෙකම එකම කාරණයක දෙපැත්තක්. මේ සැක කිරීම් ඔක්කොම නෝම්ඹි ඇල්ලිල්ලක් එක්ක වගේ බද්ධ වුණු දේවල්. මොකද කාටවත් හැමදාම ‘බඩගිනි කලකාරයා’ව බලාගන්න පුළුවන් කමක් තිබ්බේ නෑ මේ වෙනකොට. මිනිහාගෙම තනි නිරීක්ෂණය උඩ පවා බඩගින්නේ ඉන්න එක සිද්ධ උනා. ඒ නිසා මේක ඇත්තටම අඛණ්ඩ, හොර බොරුවක් නැති උපවාසයක් ද කියලා කාටවත් දැනගන්න පුළුවන් කමක් තිබ්බේ නෑ. මොකද මිනිහම තමයි ඒකට වග කිව්වේ.

තමන්ම තමන්ගේ ඇහෙන් දකින ගමන්, ඒ ගැන සතුටකට පත් වෙන ගමන්, මිනිහම ඒක රැක්කා. ඒත් මිනිහ, සෑහීමකට පත් උනේ නැත්තේ වෙන දෙයක් නිසා. සමහර විට ඒක මේ කෙට්ටු වෙනකල් නෝම්ඹි අල්ලන එකම නෙවෙයි!

කාලයක් යනකොට, මිනිස්සුන්ට බලාගෙන ඉන්න බැරි උනා කලාකාරයාගේ මේ දරාගැනිල්ල දිහා. මොකද, බලන බලන මිනිස්සු කළකිරෙන තරමට මිනිහ වැහැරිලා හිටියේ. මිනිහ තමන් ගැන උනත් කිසිම වෙලාවක සෑහීමකට පත්නොවෙන හින්දා, මිනිහ නිකං ඇටසැකිල්ලක් වෙලා හිටියේ. මිනිහා හිතන් හිටියේ, සාන්තුවරුවත් නොදන්න රහසක් මිනිහ දන්නවා කියලා.

“බඩගින්නේ ඉන්න එක නම් මොකද්ද. ඒක තමයි මේ ලෝකේ තියෙන ලේසිම දේ.” මිනිහා හිතුවෙ එහෙම.

ඒත්, මිනිස්සු මිනිහව විස්වාස කරේ නෑ. මේ ගැන නම් මිනිහා කටවහගෙන හිටියේ නෑ. අන්තිමට වැඩි හොඳට මිනිස්සු “මේ මිනිහා නිහතමානි පොරක්, හිත හොඳ ඩයල් ඒකක්” කියලා හිත හදා ගත්තා. කොහොම උනත්, ගොඩක් අය හිතුවේ එක්කෝ මිනිහ ජනප්‍රිය වෙන්න දඟලනවා නැත්නම්, පට්ට වංචාකාරයෙක් කියලා.

“කා වෙනුවෙන් ද? මොන ප්‍රතිඵලයකට ද?”

මිනිහට හැම වෙලාවම නොකා ඉන්න පුළුවන්; මොකද මිනිහ දන්නවා ඒක කරන්නේ කොහොමද කියලා. ඒ නිසා මිනිහට හයිය තිබුණා ඒක පිළිගන්න. එකම විදිහට අවුරුදු ගාණක් ගතවෙලා, මිනිහ මේ ඔක්කොටම ඇබ්බැහි වෙලා හිටියේ.

ඒත්, මේ අතෘප්තියම මිනිහගේ ඇතුළට වද දුන්නා. මිනිහට තිබුණ සමාජ ගෞරවය ගැන හිතාගෙනම, ඕනම උපවාස කාලයකින් පස්සේ, තමන්ට හිතෙන වෙලාවක, මේ කූඩුව අත හැරලා යන්න, අන්තිමට මිනිහාම හිත හදාගත්තා.

දවසක්, මිනිහ උනත් උපරිම දවස් හතළිහක් විතරක්, කන්නේ නැතුව ඉන්න ඕන කියලා, එතන ලොක්කා තීරණය කරලා තිබුණා. රටේ සර්ව සාධාරණ නගරවල මිනිස්සු පවා වැඩිපුර නොකන නිසා, මිනිහට ඊට වඩා කාලයක් නොකා ඉන්න ලොක්කා කොහොමටවත් ඉඩ දෙන පාටක් තිබුණේ නැහැ; ලොක්කට ඒකට හොඳ හේතුවක් තිබුණා.

ලොක්කගේ පළපුරුද්ද අනුව පෙනුණා මිනිහෙක්ට දවස් හතළිහකට වඩා නොකා ඉන්න බැරි බව; හරි මේකට දැන්වීමක් දෙකක් දාලා ප්‍රසිද්ධියක් දුන්නයි කියමුකෝ; ඒත් ටික දවසකින් මිනිස්සුන්ට ඒකත් එපා වෙනවා. ඒ නිසා දවස් හතළිහක් ඇති! එක එක රටවල්වල, නගරවල පොඩි පොඩි වෙනස්කම් තිබුණට මොකද, නීතියක් විදිහට දවස් හතළිහක් කියන්නේ හොඳම ගාන, එච්චරයි!

ඔන්න ඉතින් හතළිස් වෙනි දවස ආවා. කවදාවත් නැතුව මල්වලින් සරසලා, මිනිහගෙ කූඩුවෙ දොර තිබුණේ ඇරිලා. පොඩි හෝල් එක පිරෙන්න පට්ට උද්‍යෝගිමත් ප්‍රේක්ෂකයෝ ‘ටිකක්’ පිරිලා හිටියා. බලන්න එපැයි, එදා හමුදා බෑන්ඩ් එකක් ප්ලේ කරේ.

කලාකාරයට අලුත් ඇඳුමක් අන්දන්න ලොක්කා තීරණය කරලා තිබ්බ නිසා, දොස්තරලා දෙන්නෙක් මිම්ම ගන්න, මිනිහගෙ කූඩුවට රිංගුවා. එදා වෙච්ච දේ මෙගාෆෝන් එකකින් එනවුන්ස් කරේ. අන්තිමට ආවේ, තමන්ව තෝරගත්තට නොසෑහෙන්න සතුටු වෙච්ච කෙල්ලෝ දෙන්නෙක්; දෙන්නා කලාකාරයාව එළියට ගන්න ට්‍රයි එකක් දුන්නා. මොකද එළියේ තමයි කෑම මේසේ තිබුණේ; ඒ මේසේ උඩ තිබ්බේ, පරිස්සමෙන් තෝරගත්ත, ආයුර්වේද කෑම වේලක්.

බඩගිනි කලාකාරයා මේ වෙලාවෙ තමයි පස්ස ගැහුවේ. මිනිහගේ කෙට්ටු අත්දෙක ගෑනු දෙන්නගේ අත් උඩ නිදහසේ පටලවගෙන හිටියට, මිනිහට නැගිටින්න කිසිම උවමනාවක් තිබුණේ නෑ.

දවස් හතළිහකට පස්සේ මේක නවත්තන්නේ මොකටද? මිනිහට තව නොසෑහෙන්න කාලයක් බඩගින්නේ ඉන්න පුළුවන්. මිනිහ හොඳ සෞඛ්‍යයකින් ඉන්නේ; මිනිහ මිනිහවම පරද්දන ගමන් මිනිහගේ හොඳම හරියක ඉන්නේ. මිනිහගේ නොම්ඹි අල්ලන එකේ ප්‍රසිද්ධිය වෙන එවුන් කොල්ලකන්න හදන්නේ ඇයි?

දැනටමත් මිනිහට, මෙච්චර කාලෙකට හිටපු ‘හොඳම බඩගිනි කලාකාරයා’ වෙන්න පුළුවන්. බඩගින්නේ ඉන්න මිනිහට පුදුම හැකියාවක් තියෙන්නේ. තවත් කාලයක් මිනිහට මේක අල්ලගෙන ඉන්න පුළුවන් නම්, මෙච්චර කාලයක්, තමන්ව අගය කරනවා කියලා පෙන්නපු මුන්ට තව ඉවසන්න බැරි ඇයි?

මේ සිතුවිල්ලත් එක්ක හෙම්බත් වෙලා හිටිය නිසා, මිනිහට හිතුණා පිදුරු ගොඩේ ටිකක් ඇල වුණොත් හොඳයි කියලා. දැන් මිනිහට නියම වෙලා තියෙන්නේ නැගිටලා ගිහින් අර ආයුර්වේද කෑම එක කන එක. ඒ ගැන හිතන කොටත් මිනිහට ඔක්කාරේ වගේ. ගෑනු දෙන්නා ගැන ගණන් ගන්නේ නැතුව, මිනිහ පිදුරු ගොඩෙන් නැගිටින එක ප්‍රතික්ෂේප කරා.

ටිකකින් මිනිහ ගෑනු දෙන්නගේ ඇස් දිහා බැලුවා; මාර මිත්‍රශීලි ගතියක් ඒවගේ තිබුණේ; ඒ උනාට යථාර්ථයේ දී ඒවා පට්ට කුරිරුයි කියලා මිනිහට හිතුණා. මිනිහ බැරිම තැන, කම්පාවෙන් බෙල්ල උඩ තිබුණ මිනිහගේ බර වැඩිම අවයවේ වෙච්ච ‘ඔලුව’ හෙල්ලුවා.

ඔන්න ඊට පස්සේ හැමදාම වෙන දේ සිද්ධ උනා.

නිස්-සද්දෙකුත් එක්ක අධිරාජ්‍යයා ආවා. ඊටපස්සේ ඉතිං කතා කරන්න බැරි තරමට සංගීත සද්දේ. පිදුරු උඩින්, කලාකරයාගේ කැපකිරීමට දිව්‍යලෝකෙ ඉඳන් ආරාධනා කරනවා වගේ, අධිරාජ්‍යා කලාකාරයාගේ ඔලුවට අත තිබ්බා;

“මේ අවාසනාවන්ත ප්‍රාණ පරිත්‍යාගිකයා; බඩගිනි කලාකාරයා; මම දන්න විදිහටම; සම්පූර්ණයෙන්ම වෙනස් අර්ථයකින් ඉතාම හොඳම මනුස්සයෙක්. මේ සියලු දෙනාමත් .. ” ලොක්කා කලාකරයාගේ හීනි ඉණෙන් අල්ලගෙන; මිනිස්සුන්ට පෙන්න; අතිශයෝක්තියකින් මිනිහට අවවාද කරා,

“පරිස්සමෙන් ඉන්න ඕන” කියලා.

මොකද උත්සවේ කොටසක් විදිහට, මිනිහගේ රඟපෑම මිනිස්සු විස්වාස කරන්න ඕන; මෙතැනදී මිනිහට ගනුදෙනු කරන්න වෙන්නේ ඉක්මණට බිඳෙන සුළු විස්වාසයක් එක්ක; ඒ නිසා කිසිම පළුද්දක් නැතුව, ලොක්කට මේ වැඩේ කරලා බාර දෙන්න ඕන. ඉතිං‍ මිනිහ පරිස්සම් වෙන්න එපැයි!

මෙන්න ඒ එක්කම කලාකාරයාගේ කකුලුයි, කඳෙන් උඩ කෑල්ලයි පාලනය කරන්න බැරි විදිහට ඉස්සරහට පස්සට පැද්දෙන්න පටන් ගත්තා. මිනිහගේ ඔලුව තිබුණේ කඩාගෙන වැටිලා; හරියට කැරකිලා ගිහිං පපුව උඩටම වැටුණා වගේ; ඇඟ ආරුක්කුවක් වගේ පස්සට බර උනා. මිනිහ ආත්මාරක්ෂාවට ආවේගයකින් දණහිස් එකට තද කරගත්තා, පොළොව හූර හූර. ඒක ඇත්ත පොළොව නෙවෙයි නිසා; ඇත්ත පොළොව කොහෙද තියෙන්නේ කියලා හොයන්න වගේ මිනිහා විකලෙන් දොඩවන්න පටන් ගත්තා.

මේක දැකලා ගෑනු දෙන්නා මළමිනියක් වගේ සුදුමැළි උනා; ඒත් ඒ වෙලාවේ කලාකාරයා, ‘මේ හැමදේම පුළුවන් විදිහට ඉවසාදරා ගන්න’ හිතා හදාගත්තා. මිනිහා තමන්ගේ කුශ සරිරේ කෙල්ලක්ගේ ඇඟට බර කරා; ගෑනි කලබලෙන් උදව් ඉල්ලලා කෑ ගැහුවා; කලාකාරයාගෙන් උපරිම ඈත් වෙන්න බෙල්ල ඒමේ අත හැරෙව්වා.

ඒ ගෑනිට කන්ට්‍රෝල් කරන්න බැරි වෙනකොට උනත් අනිත් පැත්තේ හිටපු ලක්ෂණ කෙල්ල ඇවිත් උදව් කරේ නෑ; ඒත් ඒ කෙල්ල, වෙව්ල වෙව්ල දණිස්වලින් වැටිලා අඬන්න පටන් ගත්තා; ප්‍රේක්ෂකයෝ හිනා වෙන්න පටන් ගත්තා මේක දැකලා; මිනිස්සු හිතුවේ මේ මිනිහගේ අන්තිම නාට්ටියෙ කොටසක් කියලා.

ස්ත්‍රී පරාණ දෙකම හිතුවා, ඊළඟ පාර උනත්, මේ වැඩේට වෙන කාටවත් ඉදිරිපත් වෙන්න දෙන්න හොඳ නෑ කියල. දෙන්නම හිතුවේ නෑ, තමන්ගේ ආතල් අත ඉස්සිල්ල මෙච්චර දුරදිග යයි කියලා.

ඊට පස්සේ ඔන්න, අර කෑම එක ගෙනාවා; අධිරාජ්‍යයා සාගින්නෙන් පෙළෙන කලාකාරයාගේ කටට කෑම කටක් දැම්මා; දාලා, අඩ සිහියෙන් ඉන්න කලාකරයාගෙන්, මිනිස්සුන්ගේ අවධානය වෙන පැත්තකට හරවන්න ට්‍රයි කර කර, ප්‍රීති ප්‍රමෝදයක් පවත්වගෙන යන්න සංවිධායකයින්ට උපදෙස් දුන්නා.

පස්සේ ලොක්කා, කලාකාරයාගේ කනට කරලා කියපු විදිහටම, කලාකරයාගෙන් මිනිස්සුන්ට සව්දිය පුරන්න ආරාධනාවක් ආවා; බෑන්ඩ් එක මේ හැමදෙයකම සතුට පට්ට ඝෝෂාවකින් සනාථ කරා; ආයේ ඉතින් මිනිස්සුන්ට මේකේ කණගාටු වෙන්න දෙයක් තියෙනව ද? උත්සවේ ඒ තරම් මරු. කලාකාරයා ඇරෙන්න අනිත් හැමෝම සතුටු උනා. මොකද මිනිහ තමයි එකම එකා, හැමවෙලේම හැමදේටම විරුද්ධ වෙන. ඒත් එක්කම මිනිස්සුන්ව එකපාරම විසුරුවා හැරියා දැන් ආතල් ගත්තා ඇති කියලා.

මිනිහා මේ විදිහට, කාලයක් ජිවත් උනා; ලෝකෙන් ගෞරව ලබාගෙන; හිත ඇතුල් පැත්තටම නවාගෙන. මිනිහගේ හිතේ තියෙන අඳුරු ගතිය එන්න එන්නම වැඩි උනා; මොකද කවුරුත් මිනිහව සීරියස් ගත්තේ නෑ. ඒත් මිනිහ සැනසීම හොයාගන්නේ කොහොමද? මිනිහට ප්‍රාර්ථනා කරන්න ඉතිරි වෙලා තියෙන්නේ මොනවද? ඔන්න ඔහෙ මිනිහ නිකං හිටියා.

හදිස්සියෙන්වත්, මිනිහ ගැන කණගාටු හිතුණ, හොඳ මනුස්සයෙකුට ඕන උනොත්, මිනිහගේ “ඔය බඩගින්නේ ඉදිල්ල නිසා තමයි මිනිහට දුක හිතෙන්නේ” කියල පැහැදිලි කරලා දෙන්න, අන්න ඒ වෙලාවට මිනිහ සතෙක් වගේ හැසිරෙන්න ගත්තා; කූඩුවේ කම්බි පවා හොල්ලලා හැමෝම බය කරා. ඒත් ලොක්කා දැනගෙන හිටියා, මේ වගේ කරදරකාර වෙලාවට කරන්න ඕන මොකක්ද කියලා. බලනකොට, ඒවගේ වෙලාවක් එනකල්, ලොක්කා සෑහෙන්න ආසාවෙන් බලන් ඉඳලා තියෙන්නේ.

ලොක්කා මුලින්ම කරේ, ප්‍රසිද්ධියෙ කලාකාරයා වෙනුවෙන් මිනිස්සුන්ගෙන් සමාව ගත්න එක; ඊටපස්සේ ලොක්කා මිනිස්සුන්ට පැහැදිලි කරා, මිනිහ පිස්සුවෙන් වගේ හැසිරෙන්නේ උපවාසේ ප්‍රතිඵලයක් විදිහට කියලා; “බඩ පිරිලා හොඳ පෝෂණයක් තියෙන කලාකරයින්ට මෙහෙම වෙන්නේ නෑ” කියලත් ලොක්කා පැහැදිලි කරා. මිනිස්සුන්ට මේක නියම උත්තරයක් උනා උදාහරණත් එක්කම; ලොක්කගේ හේතු දැක්වීම තරම් මිනිස්සුන්ට ආයේ දෙයක් තියෙනවද. ඒ නිසා, මිනිස්සු හේතු නැතුවම මිනිහගේ පිස්සු හැසිරීමට සමාව දුන්නා.

එතැන ඉදන්, ලොක්කා බඩගිනි කලාකාරයාගේ වැඩ ගැන කතා කරන්න පටන් ගත්තා. මිනිහගේ කැපකිරීම එහෙම ලේසියෙන් තේරුම් ගන්න අමාරු බවත්, මිනිහට දැන් කරනවට වඩා සෑහෙන්න කාලයක් උපවාස කරන්න පුළුවන් බවත්, තමන් මිනිහගේ උත්සාහය, කැපකිරීම සහ මහා ස්වයං ප්‍රතික්ෂේප කිරීම ගැන සතුටු සිතින් මිනිහට ප්‍රශංසා කරන බවත් ලොක්කා කිව්වා.

ඒත් ඊට ටික කාලෙකට පස්සේ, පාරේ නිතරම විකුණන්න දාලා තිබුණ කලාකාරයාගේ ෆොටෝ මිනිස්සුන්ට පෙන්නලා පෙන්නලා, ලොක්කම මේ උපවාසේ බරපතලකම අඩු කරා; මොකද ෆොටෝවලින් ඕන කෙනෙකුට දකින්න පුළුවන් උනා, එදා හතළිස්වෙනි දවසේ මිනිහ හැසිරුණ විදිහ; මැරෙන්න ඔන්න මෙන්න; ගෑනු දෙන්නා එක්ක දාපු පොරේ; අධිරාජ්‍යා කටට දාපු කෑම; ආයෙම කලන්තේ දාපු එක.

බඩගිනි කලාකාරයාට, මේ ‘විකෘතිය’ හොඳට හුරු උනත්, ඒක ගැන හිතද්දී දරාගන්න බැරිතරම් මිනිහගේ ස්නායු රිදෙන්න ගන්න නිසා, මිනිහ අන්තිමට මේවා නොසලකා හැරියා. මේ අවබෝධය අඩුකමට එරෙහිව, මේ වරදවා වටහාගැනීමේ ලෝකයට එරෙහිව, සටන් කරන එක, මිනිහට කොහොමටවත් කරන්න බැරි දෙයක්; ඒත් හොඳ විශ්වාසයකින්, මිනිහ හැමතිස්සෙම කූඩුවේ බාර්වලින් එබිලා, උනන්දුවෙන් ලොක්කට නම් ඇහුම්කන් දුන්නා.

ෆොටෝ එළිය කූඩුවට එන සැරයකට වතාවක්, මිනිහට ඉස්සරහට ගිහින් ඔටෝවල අත්සන් කරන්න අවස්ථාවක් ලැබුණා; ඊටපස්සේ ආයෙත් පුරුදු පිදුරු ගොඩට. මිනිහට ළෙන්ගතු, මිනිහව සනසන මිනිස්සු ඇවිත්, මිනිහව බලලා ගියා. අවුරුදු කිහිපයකට පස්සේ ඒ වගේ සනසන මිනිස්සුත්, ආයේ හැරිලා බලපුවහම, එයාලටම එයාලගේ හැසිරීම තේරුම් ගන්න බැරි උනා; මොකද ඒ වෙනස උඩින් හදලා දාපු එකක්; ඒ වගේම ඒක ඉතාම ඉක්මණට සිද්ධ උනා; කොච්චර ගැඹුරු හේතු තිබුණත්, ඔය වගේ සුළු දේවල් ගැන, ඒ කියන්නේ ඒ මිනිස්සු කවුද, කින්ද මන්ද කියන එක ඔච්චරටම හොයන්නෙ කවුද? අඩුම කලාකාරයාවත්?

මොනා උනත්, ඕනෑවටත් වඩා අනුකම්පාව ලැබුණ බඩගිනි කලාකාරයා දැක්කා, විනෝදෙ බෙදන, ජනප්‍රිය වෙන්න දඟලන, හුලුබුහුටි අලුත් පරම්පරාව, තමන්ව අතඇරලා දාලා කියලා. මිනිහට මේකට පොඩ්ඩක් විතර අවුල් ගියා; ඒ හින්දා මිනිහ, ලොක්කා එක්ක ආයෙම යුරෝපෙන් බාගයක විතර කරක් ගැහුවා; පරණ රසවින්දනේ තවම එහෙ මෙහෙ තියෙනවද බලන්නත් එක්ක.

ඒත්, ඒ එකක්වත් හරි ගියේ නෑ. මොකද, බඩගින්නේ ඉන්න එකට විරුද්ධව හැමතැනම රහස් එකඟතාවක් ගොඩනැඟිලා වගේ පේන්න තිබුණා. බඩගින්නේ ඉන්න එක ස්වාභාවිකවම කරන්න බැරි දෙයක්; එහෙම නම් ඒක කාලයක් යන වැඩක්!

ඒ දවසවල තමන් වැඩි අවධානයක් නොදුන්න, හෙමීට යට ගැහුව, ඉස්සර ඒ කලාව ගැන, පස්සේ මිනිස්සුන්ට ටික ටික මතක් උනත්, දැන් ප්‍රමාද වැඩියි, ඒ වගේ දේවල්වලට එකඟ වෙන්න. සමහරවිට, අනිවාර්යෙන් බඩගින්නේ ඉන්න එකේ ජනප්‍රියත්වය ආපහු සැරයක් වැඩි වෙන්න පුළුවන්; ඒත්, දැනට ජීවත් වෙන අයට නම් එකෙන් සැනසිල්ලක් ලැබෙන එකක් නැතිවෙයි!  

දැන්, මිනිහ මොනා කරන්න ද? දහස් ගණන් මිනිස්සුන්ගෙන් ප්‍රීති ඝෝෂා ලබපු මිනිහෙක්, මේ වගේ පොඩි පොඩි ආතල් දෙන තැන්වල මොනා කරන්න ද? වෙන රස්සාවක් කරන්න උනත් මිනිහට වැඩි වයසක් ගිහින් තිබ්බෙ නෑ. වැඩේ කියන්නේ, හැමදේකටම වඩා මිනිහ භක්තියෙන් කැපවෙලා හිටියේ මේ රෙද්දේ බඩගින්නේ ඉඳිල්ලට.

ඒ නිසා අන්තිමේදී, මිනිහ තමන්ගේ ජීවිතේ අසමසම සගයක් වෙච්ච ලොක්කට “ආයුබෝවන්” කියලා, ලොකු සර්කස් එකක වැඩට ගියා. මිනිහ කුලියට එතන වැඩ කරන්න පටන් ගත්තේ. හිතට එන හැඟීම් එක්ක පොර බදන්න බැරි නිසා, මිනිහ කොන්ත්‍රාත් එකේ එකඟතා දිහා ඇහැක් ඇරලා බැලුවේ නෑ.

ලොකු සර්කස් එකක්, සර්කස්කාරයෝ ගොඩක්, සත්තු ගොඩක්, ජිමික්ස් හතර අතේ, ඕනම වෙලාවක අයින් කරලා දාන්න වගේම, ඕනම වෙලාවක වැඩට ගන්න පුළුවන් අය. බඩගිනි කලාකාරයෙක් උනත් හම්බ කර ගන්න ඕනනෙ!

අපේ මිනිහ, සර්කස් එකෙන් කරපු ඉල්ලීම් ඉතාම නිහතමානීයි; ඒ විතරක්යැ මේ විශේෂ වෙලාවේ කලාකාරයා විතරක් නෙවෙයි, මිනිහගේ පරණ සුප්‍රසිද්ධ නම පවා එකඟ වෙලයි හිටියේ මේ සර්කස් වැඩේට.

මිනිහා, සර්කස් එකේ නිශ්ශබ්බද තැනකට වෙලා ඉන්න ඕන කියලා ඉල්ලද්දී, ඇත්තටම මිනිහගේ කලාවේ ලාක්ෂණික විදිහ අනුවයි, මිනිහගේ උසස් වයසයි, හැකියාවේ උච්චතම තැන මිනිහ හිටිය නිසයි, මිනිහ ගැන කාටවත් පැමිණිල්ලක් කරන්න පුළුවන් කමක් තිබුණේ නෑ;

අනික මිනිහ ඉස්සර වගේම, “තමන්ට දිගටම බඩගින්නේ ඉන්න පුළුවන්” බව කියන්න ගත්තා. තමන්ට අවශ්‍ය දේ මිනිස්සු කරන්න දුන්නොත්, කිසිම සැකයක් නැතුව, ලෝකෙම පුදුම කරවන්න, තමන්ට පුළුවන් බවත් මිනිහ පොරොන්දු උනා.

කොහොම උනත්, කාලයත් එක්ක මිනිහගේ මේ නොසෑහෙන උනන්දුව, උඩින් පල්ලෙන් තමයි මිනිස්සු හොයලා බැලුවේ; මිනිස්සුන්ට වැඩ තිබුණා ඊට වඩා කරන්න. අන්තිමට මිනිහගේ මේ උනන්දුව, සර්කස් විශේෂඥයින්ට පවා විහිළුවක් වෙලයි නතර උනේ.

මේ මොකක් උනත්, අපේ මිනිහ අතීත කාමයේ ගැලිලා හිටියේ. ඒවගේම මිනිහ හෙන විශ්වාසෙන් හිතුවා, සර්කස් එකේ හොඳම තරුව විදිහට සලකලා, තමන්වයි තමන්ගේ කූඩුවයි, සර්කස් එකේ මැදට දාන එකක් නෑ කියලා; හැබැයි සමහරවිට සත්තු ගාල් කරපු, ලේසියෙන් හොයාගන්න පුළුවන් අයිනකට නම් මිනිහව දාන්න ඉඩ තිබුණා.

ඒත්, කූඩුව වටේට පත සංඥා ඇදලා, කූඩුව, ‘බලන්න වටින දෙයක්’ විදිහට ප්‍රකාශයට පත් කරා. සර්කස් එකේ ප්‍රධාන වැඩේ අතරතුර, ඉන්ටවල් එකේදී මිනිස්සුන්ට සත්තු බලන්න යන්න දුන්නහම, සමහර වෙලාවට මිනිහගේ කූඩුව ගාවත් ටිකක් නතර වෙලා, මිනිහව බලලා යන්න මිනිස්සු පුරුදු උනා.

මේ නැවතිල්ල තේරුම් නොගත්ත, සත්තු බලන්න පෝලිමේ යන සමහර අය, පිටිපස්සෙන් තල්ලු නොකරා නම්, තව ටිකක් වෙලා ඒ මිනිස්සු, මිනිහ එක්ක ඉඳලා යන්නත් ඉඩ තිබුණා.

මිනිහ ජිවිත කාලයක් තිස්සේ කරේ මේක උනත්, මේ වගේ බලන වෙලාවලදී මිනිහ කම්පා උනා. මුල් දවස්වල මිනිහට ඉන්ටවල් එකක් එනකල් බලන් ඉන්න එක ටිකක් අමාරු උනා. ඒත් පස්සේ පස්සේ ඒක සර්කස් එකේම කොටසක් බව මිනිහට තේරුණා; මිනිහ එකට හුරු උනා.

මිනිහ සතුටින්, තමන් වටේ වැල නොකැඩි එක්රොක් වෙන මිනිස්සු දිහා බලන් හිටියා; යමක් ඒත්තු ගන්නන්න වගේ. මුරණ්ඩුකම, තමන්ම රැවටෙන එක පවා ගණන් නොගෙන; තමන්ගෙම අත්දැකීමට විරුද්ධව යමින් මිනිහ බලන් ඔහේ හිටියා.

දුර ඉඳන් බලනකොට, මේක මිනිහගේ ජිවිතේ සුන්දරම මොහොත විදිහට පෙනුණා. මොකද, මිනිහ ගාවට එන මිනිස්සුන්ගේ කෑගැහිල්ලෙන් මිනිහගේ කන් පිරිලා ගියා. අර මිනිහව නොබලා කෙලින්ම සත්තු බලන්න ගියපු මිනිස්සු, ඒ මිනිස්සු හොඳයි මුන්ට වඩා.

කිසිම අවබෝධයක් නැතුව, නිකං කලබලෙන් හරි, හදිස්සි කල්පනාවකින් හරි, තමන් දිහා බලන් ඉන්න ආස අය පවා, මිනිහට පට්ට වේදනාවක් උනා. 

එක පාරක් ලොකු ජනකායක් ඇවිත් ගියාට පස්සේ, පරක්කු වෙලා ආපු සෙට් එකක් ආවා. මේ අයව නම් නවත්ත ගන්න පුළුවන් කමක් තිබුණේ නෑ කාටවත්. මේ අය ඇති වෙනකල් සත්තුන්ගේ කූඩු ගාව කැරකි කැරකී හිටියා; මේ අය අඩුම ගානේ ඇස් කොණකින්වත් මිනිහ දිහා නොබලා, දිග අඩි තියලා මිනිහ ඉන්න තැන පහු කරගෙන ගිහින් සත්තු ටික බැලුවා. බඩගින්නේ ඉන්න මිනිහට පේන්න උන්ට කෑම දැම්මා. ඒ අතරෙ කාටදෝ කින්ඩියට වගේ හිනා උනා.    

ඉඳලා හිටලා, එක පවුලක තාත්තෙක්, තමන්ගේ දරුවෝ එක්ක ඇවිත්, බඩගිනි කලාකරයාට ඇඟිල්ලක් දික් කරලා, මෙතන වෙන්නේ මොනවද, ඉස්සර මොනවද උනේ කියලා, ළමයින්ට පැහැදිලි කරලා දෙන එක, කලාකරයාට කලාතුරකින් ලැබෙන වාසනාවක් උනා.

ඒ ළමයින්ට මේ කිසි දෙයක් නොතේරුණත්, ඉස්කෝලෙදි මේ ගැන අහලා තිබුණ නිසා, ළමයි කූඩුව ගාවට වෙලා, මිනිහ දිහා කට අරගෙන බලාගෙන, ඔහේ හිටගෙන හිටියා, හරියට කෞතුක භාණ්ඩයක් දිහා බලන් ඉන්නවා වගේ.

මේ ළමයින්ට, ‘බඩගින්නේ ඉන්නවා’ කියන්නේ මොකක්ද කියලා තේරුමක් තිබුණෙ නැහැ. මොනා උනත්, “ඒ ළමයින්ගේ විපරම් ඇස්වල දීප්තියෙන්, අළුත් වගේම වඩා කරුණාවන්ත කාලයක් එයි කියන බලාපොරොත්තුව” මිනිහ දැකලා තියෙනවා; අන්න ඒ වෙලාවට, මිනිහ මිනිහගේ එකම අහිංසක හිනාව දානවා.

මේ සත්තු ඉන්න තැන, තමන් නොහිටියා නම්, තත්ත්වේ ටිකක් හොඳ වෙන්න ඉඩ තිබුණා නේද කියලා ඒ වගේ වෙලාවට බඩගිනි කලාකාරයාට හිතෙනවා. එහෙම උනා නම්, මිනිස්සුන්ට තමන්ව වඩා ලේසියෙන් තේරුම් ගන්න තිබුණා!

සත්තුන්ගේ කූඩුවල තියෙන ගඳ, රෑට රෑට මුන් කෑ ගහන එක, කලාකාරයෝ වගේ මස් කන තිරිසන්නු, කන වෙලාවට ගොරවන එක, අමු අමුවේ මස් කෑලි මිනිහ ළඟින් ඇදගෙන යන එක, මේවා නිසා මිනිහා හොඳටම කලබලා වෙලා, හැමවෙලේම මානසිකව වැටිලයි හිටියේ; ඒත් මේ එකක්වත්, සර්කස් පාලක මණ්ඩලේට කියන්න මිනිහට හයියක් තිබුණේ නෑ.

මේ මොන මඟුලක් උනත්, සමහර විට ඔය එහෙමෙහෙ යන අමුත්තන්ගේ සෙනඟ අස්සේ, මිනිහට දෛවයෙන් නියම කරපු එක මිනිහෙක් හරි ඉන්න පුළුවන්; ඒ එකාට ස්තූති කරන්න ඕන, මිනිහ වෙනුවෙන් පෙනී හිටියට. අනික කවුද දන්නේ, මිනිහගේ පැවැත්ම ගැන සැරට පරිපාලනේට මතක් කරන්න ගිහින්, මිනිහව උන් කොහේ හංගයිද කියලා; කොටින්ම මිනිහ එතකොට පරිපාලනෙට බාධාවක්. මේ වගේ බාධකයක් උනත් ඕනෑම වෙලාවක සැර අඩු කරලා දාන්න පුළුවන් බාධකයක්!

මේ වෙනකොට, ‘බඩගිනි කලාකාරයා ගැන පොඩ්ඩක් හරි අවධානය යොමු කරන්න ඕන’ කියන අමුතු මතයට රටේ මිනිස්සු පුරුදු වෙලා හිටියේ; මේ පුරුද්දෙන් මිනිහ ගැන සමාජයේ තියෙන මතේ කිය උනා. මිනිහට පුළුවන් විදිහට මිනිහ බඩගින්නේ හිටියා; මිනිහ ඒක කරා. ඒත් මේ එක දෙයකින්වත්, මිනිහගේ කැපකිරීමට ලැබෙන වටිනාකම බේරගන්න බැරි උනා. සමහර මිනිස්සු, නිකම්ම මිනිහගේ කූඩුව පහු කරගෙන ගියා.

මිනිහට පුළුවන් ඕනම කෙනෙක්ට, ‘බඩගින්නේ ඉන්න කලාව’ පැහැදිලි කරන්න; ඒත් එයාට ඒක දැනෙන්නේ නැත්නම්, මොනා කරත් එයාට ඒක තේරෙන්නේ නැති බව මිනිහ දැනගෙන හිටියා.

අර වටේට ඇඳපු සුන්දර සංඥා, ටික කාලෙකින් හැඩි වෙලා අවිනිශ්චිත වෙලා ගියා. මිනිස්සු ඒවා ඉරලා දැම්මා; කවුරුත් ආපහු ඒවා අඳින්න හිතුවේ නෑ. අර හැම දවසකම පරිස්සමෙන් අලුත් කරපු, මිනිහගේ අර මේසේ නම් ටික කාලයක් හොඳට තිබුණා. සර්කස් එකේ පළවෙනි සති කීපයෙන් පස්සේ, ‘කාර්ය මණ්ඩලේ’ මේ වගේ පොඩි රෙපයාර් එකකින් උනත් හෙම්බත් වෙන ගතියක් පෙන්න තිබුණා.  

ඉස්සර හීන මවපු විදිහටම, මිනිහ බඩගින්නේ හිටියා; මිනිහ පුරෝකථනය කරපු දේ ඉෂ්ට කරගන්න මිනිහට කිසිම අපහසුවක් තිබ්බේ නෑ. ඒත් කවුරුත් දින ගණන් කරේ නෑ; අඩුම ගානේ ඉස්සර වගේ මිනිහ උනත් දින ගණන් කරන්න ගියේ නැහැ. මේ වගේ වෙලාවට, ‘මේ ජයග්‍රහණය කොයි තරම් ශ්‍රේෂ්ඨ ද’ කියලා හිතලා මිනිහම මිනිහගෙ හිත සනස ගත්තා.

සැරයක්, අතීත කාමයෙන් ඉන්න තව මිනිහෙක් ඇවිත් කලාකාරයා බඩගින්නේ හිටපු එක ගැන, ඒ කාලේ ගැන, විහිළු කරන්න ගත්තා; වංචාවක් ගැන කිව්වා; කලාකාරයාගේ උදාසීනකම සහ සහජ කුඩුකේඩුකම බොරුවක් කරන්න පුළුවන් හොඳම විදිහ බව කිව්වා; ඒත් අපේ මිනිහට මේක කූඨ සෙල්ලමක් නෙවෙයි, මොකද මිනිහ රැවටිලිකාරයෙක් නෙවෙයි; අවංකව වැඩ කරගෙන හිටියත්, මිනිහගේ පරිත්‍යාගෙ ගැන, ලෝකයා මිනිහට විහිළු කරා. ඒත් අපේ මිනිහ සැලුණේ නෑ.

ආපහු කාලයක් ගෙවිලා ගිහින්, මේ සෙල්ලමත් අවසානෙකට ආවා.

අන්තිමේදී කූඩුව, අලුත් සුපවයිසර් කෙනෙක්ගේ අවධානයට ලක් උනා. සුපවයිසර් සේවකයින්ගෙන් කෙලිම්ම ඇහුවේ “මොකද මේ වැඩක් ගන්න පුළුවන් කූඩුව මෙහෙම පිදුරු එක්ක කුණු වෙන්න දාලා තියෙන්නේ?” කියලා. එක සේවකයෙක් කලාකාරයාව මතක් නොකරා නම් කාටවත් මිනිහව මතක් වෙන්නේ නෑ. කට්ටිය පොල්ලකින් පිදුරු සුද්ද කරද්දී කලාකාරයා ඉඳලා තියෙන්නෙ ඒ අස්සේ.

“ඔයා තවමත් බඩගින්නේ ඉන්නවද? ඔයා ඕක නතර කරන්නේ කවද්ද?” කියලා සුපවයිසර් අහලා තියෙනවා. මෙන්න මෙතන ඉඳන්, “මට සමාවෙන්න” කියලා කලාකාරයා මිමිණුවා. ඒ වෙලාවේ මිනිහව තේරුම් ගත්තේ කූඩුවට හේත්තුවෙලා කන් දීගෙන හිටපු සුපවයිසර් විතරයි.

“අනිවාර්යෙන්ම, අපි ඔයාට සමාව දෙනවා” සුපවයිසර් කලාකාරයා ඉන්න තත්ත්වේ බලන අයට පේන්නත් එක්ක, මිනිහගේ නළලට ඇඟිල්ලෙන් පොඩි තට්ටුවක් දානවා.

“මගේ බඩගින්නේ ඉදිල්ල ඔයාලා අගය කරන එකට මං කැමතියි.”

“ආහ්හ්.. ඔව්, ඔව් අපි ඒක අගය කරනවා”

“ඒත්, ඔයාලා ඒක අගය කරන්න ඕන නෑ”

“හා එහෙනම් අපි ඒක අගය කරන්නේ නෑ කියමුකෝ, ඇයි ඒ?”

“මොකද, …. මට බඩගින්නේ ඉන්න සිද්ධ උනා, මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ”

“අහ්හ්..! එහෙමද? බලන්න ඔයා දිහා, ඔයාට වෙන දෙයක් කරන්න බැරි ඇයි?”

“මොකද..” බඩගිනි කලාකාරයා ඔලුව පොඩ්ඩක් උස්සලා කිස් එකක් දෙන්න වගේ සුපවයිසර්ගේ කණට තොල් ළං කරා; සුපවයිසර්ට තමන් කියන කිසිම දෙයක් මඟ ඇරෙන්නේ නැති වෙන්න.

“මොකද.. මං ආස කෑම මට හම්බුණේ නෑ, විශ්වාස කරන්න මට එහෙම කෑමක් මේ ලෝකෙන් හම්බුණා නම්, මේ දර්ශන මොකුත් නැතුව මං හොඳට කනවා ඔයාලා වගේම”

ඒ බඩගිනි කලාකරයාගේ අන්තිම වචන ටික. ඒත් මිනිහගේ ඇස්වල අසාර්ථක ස්ථිරකමක් තිබුණා, තවත් ආඩම්බර වෙන්නේ නැත්නම්, අනිවාර්යෙන්ම තමන් දිගටම බඩගින්නේ ඉන්න බව ඒ ඇස් ස්ථිරව කිව්වා.

“හරි, දැන් මේක පිරිසිදු කරලා දාන්න” සුපවයිසර් කෑ ගැහුවා. කට්ටිය පිදුරුත් එක්කම බඩගිනි කලාකාරයාව වළලලා දැම්මා. ටික දවසකින් මිනිහගේ කූඩුවට තරුණ අඳුන් දිවියෙක්ව ගෙනැත් දැම්මා. ​

මෙච්චර කාලයක් හීන දැකපු, මේ කූඩුව ඇතුළට වෙලා ඉඳපු, පිස්සු මෝඩ මානසිකත්වයක් තිබුණ එකෙක්ට වඩා, මේ අඳුන් දිවියා පැහැදිලිවම සර්කස් එක බලන්න ආපු අයට, ප්‍රබෝධයක් ගෙනාවා.

කිසිම දෙයක් අඩු පාඩු උනේ නෑ. වැඩි වේලාවක් ඒ ගැන නොහිතා මුරකාරයෝ දිවියට කෑම අරගෙන ආවා. අඳුන් දිවියා ඒවා රස කර කර කෑවා; කිසිම වෙලාවක එතන නිදහස අඩු උනේ නෑ. පුපුරලා යන්න තරම්, ඕන හැම දෙයක්ම ලැබිච්ච ඒ උතුම් අඳුන් දිවි ශරීරේ, ඌත් එක්කම නිදහස අරගෙන යන බවක් පේන්න තිබුණා.

කෑම කන එකේ වටිනාකම වගේම, ජීවත්වීමේ ප්‍රීතිය උගුරෙන් පිට කරපු අඳුන් දිවියා දිහා, මිනිස්සු උදාර බැල්මකින් බලාගෙන හිටියා. මිනිස්සු ප්‍රීති ඝෝෂා කර කර, කූඩුව වටේට පොර කකා, ඉස්සර වගේ එහෙ මෙහෙ දුවන්නෙ නැතුව, මාර සතුටකින් බලන් හිටියා අඳුන් දිවියා දිහා.

“ලස්සන බලන්න ඒ අඳුන්..”
“නෑ අනේ හඳුන් දිවියා”.
“අහ් හඳුන් උනත් අඳුන් උනත්, බලන්න දිවියගේ ලස්සන!”
“ඒකනේ අනේ, දිවියත් මාර සතා නේද?”



simont...@optusnet.com.au

unread,
Jan 1, 2024, 2:49:33 PMJan 1
to ind...@googlegroups.com






You received this message because you are subscribed to a topic in the Google Groups "INDRAKA" group.
To unsubscribe from this topic, visit https://groups.google.com/d/topic/indraka/9a4TDM4B3PQ/unsubscribe.
To unsubscribe from this group and all its topics, send an email to indraka+u...@googlegroups.com.

Nissanka Rajapaksa

unread,
Jan 1, 2024, 9:02:37 PMJan 1
to INDRAKA group
64
සුන්දර නතාෂා....

 - මැක්සිම් ගෝර්කි

අනුවාදය දැදිගම වී රුද්රිගු
 

සරත් සමයේ එක් දවසක දී මට ඉතාම අසීරු සහ අපහසු තත්වයකට මුහුණ පෑමට සිදු විය. මා පැමිණ සිටින නගරයේ කිසිවෙක් මා නොහඳුනති. මා අත තඹයකඳු නොතිබූ අතර මට නැවතීමට ද තැනක් නොවීය.

මගේ ඇඳුම් වලට අයත්, මට අවශ්‍ය නොවන හැම දෙයක් ම විකුණා දැමූ පසු මම නගරයෙන් පිට වී ඌස්තියෙ නමැති ස්ථානයට ගියෙමි. එම නගරයේ නැව් සඳහා තොටුපළක් තිබුණි. නැව් ගමනාගමනය ඇති කාලවල දී එහි ලහිලහියේ වැඩ කෙරුණද, දැන් එහි පාලුය, කාන්තාරයක් මෙන් නිසල ය. එය ඔක්තෝම්බර් මාසයේ අවසාන දවස් කීපය විය.

තෙතමනය සහිත පස් ගොඩ පයෙන් හාරා අවුස්සමින්, ආහාරයට ගැනීම සඳහා සුදුසු යමක් එහි තිබේදැයි දැඩි අභිප්‍රායකින් යුතුව පිරික්සා බැලීමි. ජන ශුන්‍ය ගොඩනැගිලි සහ කඩ පිලවල් ගානේ ඇවිදිමින් බඩකට පුරා ආහාර ගිලීම කොතරම් යහපත් දෙයක් දැයි මම සිතන්නට වුයෙමි..

සංස්කෘතික වර්ධනයේ මේ අවධියේ දී ශාරීරික කුසගින්නට වඩා ලෙහෙසියෙන් ආධ්‍යාත්මික කුසගින්න නිවාලීම කල හැකි ය. පිටත සිට බලන විට ලස්සන යයි කිව හැකි - වැරදීමකින් තොරව - ඇතුළත සැප පහසුයැයි කිව හැකි ගොඩනැගිලි සහිත වීදි ඔස්සේ රස්තියාදු වීමට පුළුවන. මේ නිසා ගෘහ නිර්මාණ ශිල්පය ගැනද, සෞඛ්‍ය ගැනද තවත් බොහෝ බුද්ධිමත් සහ උත්තරීතර දේ ගැනද තුටුපහටු මනෝ භාවයක් ඇතිකර ගත හැකිය. උණුසුම ගෙන දෙන සැප පහසු ඇඳුම ඇඳගත් මිනිස්සු ඔබට හමුවෙති. ඔවුහු ඉමහත් ආචාරශීලි ලෙස ඔබට යන්ට ඉඩ දී මග හැර ඔබේ කණගාටුදායක පැවැත්ම ගැන බැලීමට පවා මැලිවෙති. කුසගින්නෙන් පෙළෙන්නකුගේ ආධ්‍යාත්මය, බඩ පුරා ආහාර ගත එකකුගේ ආධ්‍යාත්මයට වඩා පෝෂණය ලබා තිබීම සත්‍යයක් බව දෙවියන්ගේ නාමයෙන් සඳහන් කල හැකිය!.. මෙවැනි විරුද්ධාභාසයකින් බඩපුරා ආහාර ගෙන සිටිනවුන්ගේ ප්‍රයෝජනය සඳහා බුද්ධිමත් නිගමනයකට එළඹීමට පුළුවන!..

හවස්වත්ම වැසි වසින්නට පටන් ගත අතර උතුරු දෙසින් කුණාටු හමන්නට විය. කඩ පොලේ හිස් කඩ හා මඩු කූඩාරම් අතරින් හූ හඬක් පතුරුවමින් නැගී ආ කුණාටුව හෝටලවල ජනේල වසා ඇති ලෑලිවලට වැදී ශබ්ද ඇති කළේය. ගඟේ රැල්ල වඩාත් උස් වී පෙණ සහිත කිරීට ඇති කරමින් එකිනෙකා පරදවමින් ඈතට දිව ගියේය. සීත සමය ළඟාවී ඇති බැවින් බිය වූ ගඟ තම දිය මිදී ඒවා අයිස් බවට පත්වෙතියි සිතමින් ඉවත පැන යාමට තැත්කලාක් මෙනි. අහස බැරෑරුම්ය, ඇඳිරිය, අහසේ සිට පියවි ඇසට පෙනෙන නොපෙනෙන තරම් කුඩා වැහි බිංදු වැටිණි. මා අවට ඇති ශෝකාන්විත, ඛේදාත්මක පරිසරයට මුලින් උදුරා ලන ලද කැඩුණු විලෝ ගස් දෙකක් සහ ඒවා අසල උඩුයටිකුරු කොට පෙරළන ලද බෝට්ටුවක් ද අයත් විය.

අඩියේ විශාල සිදුරක් සහිත බෝට්ටුවද, දැඩි සීත සුළඟ විසින් ඉරා දමන ලද පරණ ගස් දෙකද ශෝකය මුසු ගතියක් ඇති කළේය... අවට හැම දෙයක්ම විනාශ වී, වඳ වී, මරණයේ සලකුණු පළ කළේය. අහස නොනවත්වා කඳුළු සලන්නාක් මෙනි, වැසි වැස්සේ. අවට හැම දෙයක්ම ඇඳිරිය, මරු කතරක මෙනි. හැම දෙයක්ම මියයනු ඇත. ඉතිරි වන්නේ මා පමණකි.

එකල මගේ වයස අවුරුදු දහ හතකි. අනගිතම කාලයයි!

මම සීතල, තෙතමනය සහිත වැලි පොළොවේ දිගටම ඇවිදින්නට වීමි. කුසගින්නට හා තද සීතලට ගරු කිරීමක් වශයෙන් මගේ ඇඟ වෙවුලා දත් ඇඳි එකිනෙකට ගැටෙන්නට විය. ආහාර සඳහා යමක් සොයමින් පාළු කඩපිල් වටේ රස්තියාදු වෙමින් සිටි මම, ස්ත්‍රී ඇඳුමකින් සැරසී ගුලි ගැසී බිම වැතිර සිටින සිරුරක් දුටිමි. වැස්සට තෙමී තෙතබරි වී සිටි ඇගේ උරහිස් ඉදිරියට නැමී ඇත. මා ඇය ලඟට ගොස් නැඹුරු වී බැලුවේ ඇය කුමක් කරන්නේ දැයි දන ගැනීම පිණිසය. වසා ඇති කඩයක් ඉදිරියේ එයට යටින් දෑතින් ඈ වළක් හාරමින් සිටින බව පෙනිණි.

“නුඹ ඔය වැඩේ කරන්නේ මොකටද?”

ඈ සෙමින් කෑ ගසා හනිකට නැගිට සිටියා ය. ඈ නැගිට සිට සිය අළු පැහැති විශාල නෙත් මහත් කරගෙන ඉමහත් බියකින් මා දෙස බලන විට, ඇය මගේ වයසට සමාන තරුණියක් බව මම දුටිමි. ඇගේ මුහුණ ඉතා සුන්දරය. කනගාටුවකට මෙන් එහි නිල් පැහැති පැල්ලම් තුනක් ඇති බැවින්, එම මුහුණෙ පෙනුම තරමක් අයහපත් ය. මේ පැල්ලම් තුනම පුදුමාකාර ලෙස සමානත්වයක් දරයි. ඇස් දෙකට යටින් සමාන ප්‍රමාණය පැල්ලම් දෙකකි. අනික නළලේය. තරමක් විශාල එම පැල්ලම නහයට උඩින් තිබිණි. අනික් මිනිසුන්ගේ සුන්දරත්වය විනාශ කිරීමේ සහජ දක්ෂතාවයක් ඇති චිත්‍ර ශිල්පියෙකුගේ නිර්මාණයක් ඉන් හැඟිණි.

තරුණිය මා දෙස බලත්ම, ඇගේ නෙත්වල තිබූ බිය ගතිය කෙමෙන් අතුරුදහන් විය.. මොහොතකින් ඈ අත්වල තිබූ පස් හා වැලි ගසා දමා, හිස බැඳි කපු ලේන්සුව සකස් කරගෙන, සුළං පහර නිසා හැකිලී ගෙන මෙසේ තෙපලාය.

“නුඹ බඩගින්නේ කෑම හොයනවා නේද? එහෙනම් නුඹත් හාරපන්, මගේ අත්දෙක රිදෙනවා. ඒක ඇතුළෙ පාන් තියෙන්නට ඕන.” ඈ හිස වනා වසා දමා ඇති කඩය පෙන්නුවාය... මේ කඩේ තවම වෙළඳාම් කරනවා...”

මම පොළොව හාරන්නට වීමි. ඈ තරමක් වෙලා මා දෙස බලා සිට අසලින් වාඩි වී හාරන්නට වුවාය. අපි නිහඬව පොළොව හෑරුවෙමු. ඒ වෙලාවේ දී මට, අප විසින් නිතර මතක තබා ගත යුතුයැයි කරණා දන්නා එවුන් කියන අපරාධ නීති සංග්‍රහය, සදාචාරය, පුද්ගලික අයිතිය ආදී දේ ගැන කල්පනා වී දැයි කිව නොහැකිය. හැකි තරම් සත්‍යයට ලං වීමට පතන මා, හාරන වලට එහා තිබිය හැකි ආහාර ගැන මිස වෙනත් කිසි දෙයක් ගැන කල්පනා නොකළ බව පිළිගත යුත්තකි. එතරම් දැඩි ලෙසත්, ගැඹුරු ලෙසත් මම වල හැරීමෙහි නියුක්ත වී සිටියෙමි. ඇඳිරි වැටෙන්නට පටන් ගති. අඳුර, තෙතමනය, සීතල අප අවට වඩාත් දැඩි ලෙස පැතිරිණි. රැළි නගන හඬ තරමක් අඩු වුවද, කඩ මැස්සට වැටෙන වැහි බිඳු නගන හඬ වඩාත් වැඩිවිය... රාත්‍රී, මුරකරුවකුගේ ශබ්දය ඈතින් ඇසිණි...

“මේකට යටින් පොළොවක් තියෙනවද? එහෙම තියෙවනම් අපි කරන වැඩෙන් ඇති පලක් නැහැ. අපි වලක් හෑරුවයින් පස්සේ එතැන මහත ලෑල්ලක් තියෙන්ට පුළුවනි... එතකොට කඩ පෙට්ටිය  අරින්නේ කොහොමද? ඊට වැඩිය හොඳයි යතුරු ඉබ්බාව කඩනවා.. මේක පරණ ඉබ්බෙක්...”

යහපත් අදහස් ගැහැණියකගේ හිසෙහි ජනිත වන්නේ කලාතුරකිනි. එහෙත් දැන් ඔබ දකින පරිදි එවැනි අදහස් ද ජනිත වෙයි.. යපහත් අදහස් හැමදාම උසස් ලෙස අගය කළ මම, ඒවායින් හැකි තරමින් නිසි ප්‍රයෝජනය ගැනීමට උත්සහ කළෙමි. දොර ලෑල්ලේ යතුර ඉබ්බා වෙත ගිය මම එහි වළලුත් සමග උදුරා දැමීමට සමත් වීමි. මවිසින් එලෙස විවෘත කරන ලද හිඩැස්ස තුළින් මගේ අත් උදව්කාරිය සැපින්නක සේ ඇතුළු වුණාය.

“හැබෑ දක්ෂයා!” ඈ මා අනුමත කරමින් පැවසුවාය.

ගැහැනියකගෙන් ලැබෙන එක පැසසුමකට මට පිරිමියෙකුගෙන් ලැබෙන පැසසුම් රාශියකට වඩා වටනේ ය. එම පිරිමියා ආදී කල විසූ සියලු චතුර කථිකයින් එකට ගත් විට ඔවුනට සමාන වුවද කම් නැත. එවැනි පුරුෂ පැසසුම් අසනවාට වඩා විශාල උද්දාමයකින් දැන් මා සිත වෙලී ඇත. තරුණියගේ පැසසුම් ගැන සලකා බැලීමට තරම් මට කාලයක් නොවූයෙන්, මම බියෙන් යුතුව ඇගෙන් කෙටියෙන් ප්‍රශ්න කළෙමි.

“ඔතන මොනවා හරි තියෙනවද?”

එක්තානමය හඬකින් ඈ දකින දේ විස්තර කළාය. “හිස් බෝතල කූඩයක්, හිස් ගෝනි ගොඩක්... කුඩයක්... යකඩ බාල්දියල්...”

ඒවා ආහාර සඳහා සුදුසු දේ නොවේ. මගේ බලාපොරොත්තු සුන්වීමට පටන් ගති. එහෙත් හිටි හැටියේම ඈ ප්‍රාණවත් ගතියකින් කෑ ගැසුවාය. “මෙන්න! තියෙනවා...”

“මොනවද ?”. 

“පාන්... පාන් ගෙඩියක්... හැබැයි තෙතයි... ඉඳා ගනින්...” මගේ දෙපා ලඟට වටකුරු පාන් ගෙඩියක් විසි වී ආවත් සමග මගේ නිර්භීත අත් උදව්කාරියද මට ළං වූවා ය. මම පාන් ගෙඩියෙන් කෑල්ලක් කඩා කටේ දමා ගෙන සපන්නට වූයෙමි. “ඉතින් මටත් දීපන්... අපි මෙතැනින් පිටවෙන්නට ඕන. නමුත් අපි යන්නෙ කොහෙටද?” ඈ අඳුර රජ කරන අවට දෙස පිරික්සුම් බැලීමක් හෙළුවාය. අඳුර දසත පැතිර ඇත. අවට හැම තැනම තෙතය, විවිධ ශබ්ද ඇසේ... “අන්න අතන බෝට්ටුවක් පෙරළා දමා තියෙන්නෙ, එතනට යමුද?”

“යමු!” අපි දෙදෙන පා නගමින් අපේ පාන් ගෙඩියෙන් කැබලි කඩා ගෙන කටේ දමා ගත්තෙමු. වැස්ස වැඩි විය, ගඟ හඬ නැගීය. කොහේදෝ සිට දීර්ඝ ලෙසත්, උපහාසාත්මක ලෙසත් සිවුරු හඬලන සැටියක් ඇසිණ. බිය යනු කුමක්දැයි නොදත් යෝදයෙකු වැන්නෙක් සරත් සමයේ අයපහත් සැන්දෑවටද එහි වීරයින් වන අපටද, හැම කෙනෙකුටම සහ හැම දෙයකටමද සිනාසෙන්නාක් මෙන් විය... එම හඬ නිසා මගේ සිතෙහි රෝගීමය වේදනාවක් උපණි. එසේ වුවද, මම ගිජු ලෙස පාන් කෑවෙමි. මගේ වම් පසින් ගමන් ගත් තරුණිය ද මට නොදෙවැනි වන සේ පාන් කන්නට වූවාය.

“නුඹේ නම මොකක් ද?” කුමක් නිසා හෝ මම ඇගෙන් ප්‍රශ්න කළෙමි.

“නටාෂා !” හඬක් පිටවන සේ පාන් කන ඈ පිළිතුරු දුන්නා ය. මම ඇය දෙස බැලීමි. මගේ හදවත වේදනාවෙන් හැකිළිණි. අනතුරුව මම අඳුරට නෙත් යොමු කලෙමි. මගේ අශෝභන ඉරණමේ සාවඥමය සේයා ගුප්ත ලෙසත්, හිරිවට්ටන සැටියකිනුත් මා දෙස බලා මද සිනා පායි.

ලී බෝට්ටුවේ වැහි පොද නොකඩවා වැටෙන්නට විය. එම හඬ දොම්නසට පිරි අහදසක් ගෙනාවේය. සුළඟ හඬ නගමින් බෝට්ටුවේ සිදුර අස්සෙන් එහි වූ ලී පතුරක් නටවමින් හා ශබ්ද කරමින් සෝකය මුසු දෝංකාරයක් නැංවීය. ගඟේ දිය රැලි ඒකතානමය හඬක් ඇතිකරමින් බලාපොරොත්තු රහිත බවක් ඇති කළේය. විඳදරාගත නොහැකි තරම් කාන්සියක් හා දොම්නසකින් යුත් කතාවක් එය අපට කියන්නාක් මෙනි. එය කැමති වුවද, එසේ කීම අත්‍යාවශ්‍ය දෙයක් ලෙස පිළිගත්තාක් මෙනි. ගඟේ දිය රැළි වැසි පොදවල ශබ්දයත් සමග එක්වේ. දීප්තිමත් උණුසුම් ගිම්හානය වෙනුවට, තෙතමනය සහ මීදුම සහිත සරත් සමය පැමිණීම නිසා අමනාපයට හා විඩාවට පත් මහා පොළොව උඩු යටි කුරු කොට පෙරළා ඇති බෝට්ටුවට ඉහළින් සුසුම් හෙළන්නාත් මෙනි. පාළු ගං ඉවුර සහ කැළඹුණු ජලය සහිත ගඟට ඉහලින් සුළං හමන්නා වූ අතර එය ශෝකාන්විත ගී ගැයීය...

බෝට්ටුව යටට වූ අපට සැප පහසුවක් නැත. බෝට්ටුව තුළ තදබදයකි. එය වැසී ඇති පොළොව තෙතය. සිදුරෙන් සීතල කුඩා වැහි බිංදු වැටිණි. සුළං ඇතුළු විය... නිහඬව වාඩි වී සිටි අපි ශීතල නිසා වෙවුලන්නට වීමු. මට නිදා ගැනීමට අවශ්‍ය බව මතක් විය. නතාෂා බෝට්ටුවට පිට හේත්තු කරගෙන ගුලි ගැසී උන්නාය. ඈ දණහිස් මත නිකට තබාගෙන දෑතින් දෙපා බදා ගෙන අල්ලාගෙන ගඟ දෙස බලාගත්වනම සිටියාය. අගේ දෙනෙත් මහත් වී ඇත. සුදු පැහැති අගේ මුහුණේ නුවන් වඩාත් විශාලව පෙනුණේ ඒවාට යටින් ඇති කළු පැහැති ලප නිසාය. ඇය නොසැලෙන ගල් රුවක් මෙනි. අගේ නිසල බව හා නිහඬ බව විසින් මසිත තුල කෙමෙන් බියක් ඇති කරනු ලැබීය... ඇය සමග කතා කරන්නට මට උවමානාවක් ඇති වුණද, එය පටන් ගත යුත්තේ කෙසේදැයි මම නොදත්තෙමි.

ඈ අගේ කතාව පටන්ගත්තාය.

“කෙතරම් දුෂ්ට ජීවිතයක්ද!” දැඩි ලෙසත්, සුපැහැදිලි ලෙසත් ඇය එසේ කිව්වේ ස්ථිර විශ්වාසයකින් යුතුවය. එහෙත් එය දුක් ගැලවිල්ලක් නොවීය. ඇගෙ කට හඬෙහි සෑහෙන මන්දෝත්සාහී ගතියක් තිබීම නිසා එය දුක්ගැනවිල්ලකට සමාන නොවීය. සාමාන්‍ය චාම් පුද්ගලයෙකු වූ ඈ දන්නා තරමින් කල්පනා කොට ස්ථිර නිගමනයකට එළඹුණු සැටියකි. ඇය සිය අදහස ප්‍රකාශ කළ අතර මගේ ජීවිතයට විරුද්ධ නොවී, ඇයට විරුද්ධ වීමට මා අපොහොසත්ය. එබැවින් මම නිහඬ වීමි. ඈ මා එහි සිටින බවක් නොඅඟවා නිසලව එලෙසම උන්නාය.

“මකබෑවෙලා යන්ටයි, මගේ කල්පානාව...” නතාෂා යලිත් නිහඬතාවය බින්දාය. ඇය එසේ පැවසුවේ සෙමින් හා කල්පනාකාරීවය. අගේ මුවින් පිට වූ වචනවල දුක්ගැනවිල්ලක සේයාවක් පවා නොතිබිණි. ජීවිතය ගැන කල්පනා කළ ඈ, තමාගේ තත්ත්වය දෙස බලා, ජීවිතයේ ගැරහීම්වලින් ආරක්ෂා වනු වස්, සිය පණ හානි කර ගැනීමට “මක බෑ වී යාම” හැර අන් කිසි මගක් නොමැති බව, සන්සුන් ලෙස පිළිගත් බවක් පෙනෙන්නට තිබුණි. අගේ කල්පනාවේ සුපැහදිලිතාවය නිසා මට විඳ දරාගත නොහැකි ඔක්කාරයක් දැනිණි. මා තවත් දුර නිහඬව සිටියහොත් මට ඇඬෙනු ඇතැයි සිතිණි... ගැහැනියක් ඉදිරියේ ඇඬීම ලැජ්ජාවට කරුණකි, විශේෂයෙන්ම ඇය නොහඬා ඉන්නා විට... ඇය සමග කතා කිරීමට මම ඉටා ගතිමි.

“නුඹට ගැහුවේ කව්ද?” එයට වඩා බුද්ධිමත් යමක් ඇසීමෙහි අපොහොසත් වූ මම ප්‍රශ්න කළෙමි.

“මේවා ඔක්කොම කරන්නේ පාෂ්කා තමා...” සන්සුන්ව හඬ නගා ඈ පිළිතුරු දුන්නාය.

“ඔහු කවුද”

“මගේ පෙම්වතා... පාන් බක්කරේ කෙනෙක්..”

“ඔහු නුඹට නිතරම පහර දෙනවද”

බීගත්තම පහර දෙනවා..”

හිටි හැටියේම ඈ මට ලංවී තමා පිළිබඳ කතාව කියන්නට වුවාය. පාක්ෂා සහ ඇය අතර ඇති සම්බන්ධකම් ගැන විස්තර කළාය. “ඇය හැමතැනම ඇවිදින ජාතියේ අභිසාරිකාවකි...” ඔහු රතු පැහැති උඩු රැවුලක් ඇති පාන් බක්කරේ කෙනෙකි. ඇකෝඩිනය දක්ෂ ලෙස වාදනය කරයි. ඔහු ඇය හමු වීමට ‘ආයතනයට’ ගිය අතර, ඈ ඔහුට කැමති වුවාය. මන්දයත් ඔහු පියකරු බවක් දැරූ අතර පිරිසිඳු ඇඳුම් ඇන්ඳ බැවිනි. ඔහුගේ කබායේ වටිනාකම රූබල් පහළොවක් විය, ඔහු ඇඳ සිටියේ මෘදු සමින් කළ බූට්ස් ජෝඩුවකි.. මේ හේතු නිසා ඈ ඔහුට ආලය කරන්නට වුවාය. ඔහු මුදල් නොගෙවා ඈ සමග සංවාසයෙහි යෙදෙමින් ඇගේ “ණයකාරයකු” බවට පත්විය. ඉතින් මේ ණයකාරයා ඇයට වෙනත් මිනිසුගෙන් ලැබෙන ‘සන්තෝස දීමනා’ රැගෙන ගොස් මත්පැන් බී වෙරි වී ඇයට තලන්නට විය. එපමණක් නොව, අගේ ඇස් ඉදිරිපිටම වෙනත් තරුණියන් සමග වරදවා හැසිරෙන්නටද විය...

“ඒක මගේ අමනාපයට කරුණක් නොවෙයිද? අනිත් එවුන්ට වැඩිය මම නරක නැහැ.. ඌ මට නින්දා අපහාස කරන්ටයි එහෙම හැසිරෙන්නේ, නීචයා. මම අපේ ආයතනයේ ලොක්කිගේ අවසරය ඇතුව නිවාඩුවක් දාල උගේ ගෙදර ගියා. මෙන්න එතැන ලුන්කා බීල වෙරි වෙලා ඉන්නවා. පාශ්කාත් හොඳට වෙරිවෙලා. මම ඔහුට මෙහෙම කිව්වා “යකෝ නුඹ නීචයෙක්, ජඩයෙක්, පල්හොරෙක්!” ඔහු මට සෑහෙන්න ගුටි ඇන්න. මට පයින් ගැහුව්වා... හිසකෙස් ඇද්දා.. ඒත් කමක් නැහැ! මගේ ඇඳුම් ටික ඉරා දැම්මා. මගේ සායයි හැට්ටෙයි ඉරලා දැම්මා. දැන් ඉතින් අපේ ලොක්කිට මම මුහුණ දෙන්නෙ කොහොමද? ඒවා අලුතෙන් ගත්ත ඇඳුම්.. මගේ හිස බැඳි ලේන්සුවත් උදුරා ගත්තා.. අනේ දෙවියනේ! දැන් ඉතින් මොනවා කරන්ටද?” ඇගේ කටහඬ බිඳී ගොස්, විලාප ගැසීමක් මතුවිය. සුළං හැමීම දැඩි වී සීතල තවත් වැඩිවිය. මගේ දත් දෙපළ යළිත් එකටෙක ගැටෙන්නට විය. ඈ සීතල නිසා ගුලි ගැසී මා ලඟට කෙතරම් ඇදුනාද යත්, අඳුර බිඳ මට ඇගේ දෙනෙතේහි කාන්තිය පවා පෙනිණි. “පිරිමි වන තොපි ජඩයෝ! තොපි ඔක්කොම මගේ පයට පාගලා තොපේ අත් පා ඉරා දමන්ට ඇත්නම්.. පණ අදින පිරිමියෙකුගේ මුහුණට කෙළ ගහන්නට මම ලෑස්තියි. කිසිම අනුකම්පාවක් නැතුව! වැදගැම්මකට නැති මී හරක්! හූල්ල හූල්ලා නීච බල්ලෝ වගේ ගෑණු ළඟ කරකැවෙනවා. ගෑණියෙක් එහෙම නුඹලාගේ උපායට යටවුනොත් උන්දෑ ඉවරයි, සිද්ධ වුනේ මොනවද කියල අවබෝධ කරගන්නටත් ඉස්සෙල්ලා ඒ ගෑණිව පාගලා ඉවරයි... ගඳ ගහන වල් සත්තු..” ඈ නොයෙකුත් විදිහට බැණ වැදුණු අතර ඒ බැණීම්වලට යෙදූ වචන ශක්තිය රහිත විය. ගඳ ගහන වල් සතුන් කෙරෙහි කෝපයක් හෝ වෛරයක් හෝ එහි නොවීය, පොදු වශයෙන් ගත්විට ඇගේ කට හඬෙහි සන්සුන් ගතියක් තිබිණි. ඇය කියන දේ සමග එය සමානුපාතික ලෙස කොහෙත්ම නොගැළපිණි. එමෙන්ම ඇගේ කතාවෙහි දොම්නස මුසු එකතානමයකි.

ඒ කෙසේ වුවද, මුල් කාලයේදී සහ පසු කාලයේදී මවිසින් අසන ලද සහ කියවන ලද සියලු සර්ව අශුභ කතා හා පොත්වලට වැඩියෙන්, අද වුවද එවැනි පොත්වලට හා අසන කතාවලට වැඩියෙන්, අගේ කතාව මා කෙරෙහි බලපෑවේය. මරණය පිළිබඳ ඉතා සම්පූර්ණ ලෙස ලියන ලද කළා කෘතීන්වලට වඩා මියයන පුද්ගලයා මරණ මොහොතේදී විදින දුක් වඩාත් ස්වභාවික වීමත් වඩාත් බලගතු වීමත් මෙයට හේතුවකි.

මගේ දොම්නස වඩාත් වැඩි වුයේ මා සමග ලැගුම් ගෙන සිටින තරුණියකගේ කතාවලට වඩා සීතල නිසා ඇති වූ පීඩාව බව අනුමාන කළ හැකිය. මා සෙමෙන් සුසුම් ලෑ අතර මගේ දත් ගැටිණි. එවිටම මට කුඩා අත් දෙකක පහස දැනිණි. එකක් මගේ බෙල්ල ස්පර්ශ කළ අතර අනික මගේ මුහුණ මත රැඳිණ. ඒ සමගම බියමුසු සුරතල් ප්‍රශ්න ඇසිණ.

“නුඹට මක් වෙලාද?”

මගෙන් එලෙස ප්‍රශ්න කරන්නේ නතාෂා නොව වෙනත් කෙනෙකු බව සිතීමට මා සුදානම් ය. සියලු පිරිමින් දුෂ්ටයන් කී ඇය ඔවුන්ගේ විනාශය පැතුවේ මේ දැන්ය. එහෙත් දැන් ඉක්මනින්ම හා හදිසියකින්ම ඈ කතා කරයි. නුඹට මක් වෙලාද? නුඹට හීතල? වෙවුලනවද? මදෑ නුඹේ හැටි! කටවහගෙන ඉඳගෙන ඉන්නවා.. හරියට බස්සෙක් වගේ! නුඹට හීතලයි කියල මීට ඉස්සෙල්ලා නොකීවේ ඇයි.. ඉතින් නුඹ බිම දිගා වෙයන්.. දිග ඇදියන්.. මම වැතිර ගන්නම්. මෙන්න මෙහෙම! දැන් මාව දෑතින් තදවෙන්ට බදාගනින්.. තදවෙන්ට.. අන්න එහෙම. දැන් නුඹට උණුසුමක් දැනෙනවා ඇති.. ඊට පස්සෙ අපි පිටට පිට දීල ඇලවෙමු. අපි කොහොමහරි මේ රෑ මෙහෙම ගත කරමු. නුඹට මක් වෙලාද, බොන්ට පටන් ගත්තද? රස්සාවෙන් පැන්නුවද? කමක් නැහැ! ඈ මා සැනසීමට උත්සාහ කළාය. ඈ මා දිරි ගැන්නුවාය.

මට තෙවරක්ම ශාප වේවා! මෙහි කෙතරම් විශාල ව්‍යාජෝක්තියක් ඇද්ද! කල්පනා කර බලන්න! ඒ කාලයේදී මම මිනිස් සංහතියේ ඉරණම ගැන විශාල සැලකිල්ලක් දැක්වීමි, සමාජ ක්‍රමය ප්‍රතිසවිධාන කිරීම ගැන සිහින දුටිමි, දේශපාලන පෙරලි ගැන කල්පනා කලෙමි, කතුවරයන් පවා තමන් විසින් ලියන ලද පොත් වල ගැඹුර අවබෝධ කරගත නොහැකි තරම් බුද්ධිමත් විවිධ පොත් රාශියක් ඒ වනවිට මා කියවා තිබිණි. ක්‍රියාකාරී විශාල බල වේගයක් ලෙස නැනී සිටීමට මම ඒකාලයෙදී උත්සහ ගත්තෙමි. එසේ වූ මා දැන් උණුසුම ලබන්නේ ගණිකාවකගෙනි, ජීවත් වීමට පවා අයිතියක් නැති තරම් වූ අවාසනාවත්, පහකරනු ලැබූ ගැහැනියක ගෙනි. ඇය මට ආධාර කිරීමට ඉදිරිපත් වීමට පෙර මා යට ආධාර කල යුතුව තිබුණද, මට එය කලින් වටහා ගැනීමට තරම් ශක්තියක් නොතිබිණි. කලින් එය වටහා ගත්තද. එවැන්නක් කිරීමට තරම් මා සමත් වෙතිද!

මේ සියල්ල මා වින්දනය කරන්නේ සිහිනෙන් බවත්, එය අමන අවාසනාවත් සිහිනයක් නැවත සිතීමට මා සුදානම්ය.. එහෙත් එවැන්නක් සිතිය නොහැකිය. මන්දයත් මගේ සිරුර මත සීතල වැහිපොද වැටෙන බැවිනි. මගේ පපුවට ගැහැණියකගේ පපුවක් තදින් හේත්තු වී ඇත. අගේ උණුසුම් ප්‍රශ්වාස මට දැනෙයි. එහි තරමක් වොඩ්කා සුවඳක් තිබුණද, එය ජීවමය බවෙන් ආඩු නැත.. සුසුම් ලන්නාක් මෙන් සුළං හමයි. බෝට්ටුව මත පතිත වන වැහි පොද ශබ්දයක් නගයි. ගඟේ රැළි ඝෝෂා කරයි. අපි දෙදෙන එකිනෙකා තදින් වැළඳගෙන සිටියද, සීතලෙන් ගැහෙන්නට වීමු. මේ හැම දෙයක්ම සැබවින්ම වාස්තවියකය. එම යථාර්ථය තරම් දුක්මුසු, අයහපත් සීනයක් කිසිවකු කිසි දිනෙක දැක නැතැයි මට සහතිකය. එහෙත් නතාෂා දිගටම කතා කළාය. ගැහැණුන් කතා කරන්නාක් මෙන් ඈ සුරතල් ලෙසත්, මෘදු ලෙසත් කතා කරයි. ඇගේ කතාවේ ඇති ළාමක හා බොළඳ ගති නිසා මහද තුල කුඩා ආලෝකයක් පැන නැගිණි. ඉන් පැන නැගි උණුසුම නිසා මගේ හදවතෙහි ගොඩ ගැසුණු කෝපය, දොම්නස, මෝඩකම් හා කුණු ආදිය සෝදා දැමීමෙහි සමත් කඳුළු ධාරා ගලා යන්නට විය.. නතාෂා මට සැනසුම් බස් තෙපලන්නට විය.

“අනේ මගේ හොඳ කොල්ලෝ නාඩා ඉඳින්! ඔය ඇති! දෙවියන්ගේ පිහිටෙන් නුඹට ඔය දුක මැඩගෙන නැගිටින්න පුළුවන් වේවී..” ඔවැනි සැනසුම් බස් ඈ කියුවාය. අනතුරුව ඈ මා සිපගන්නට පටන් ගත්තාය. උණුසුම් ලෙස බොහෝ සේ ඈ මා සිපගත්තාය.

ජීවිත විසින් මට පළමුවැනි එමෙන්ම ඉතාමත් හොඳ ස්ත්‍රී චුම්බන ඒවා විය. මන්දයත් ඉන්පසුව ඇති වූ චුම්බනවලට මට විශාල වශයෙන් වන්දි ගෙවීමට සිදු වූ අතර ඉන් කිසිඳු පලක් නොවූ බැවිනි. “නුඹ පුදුම කොල්ලෙක්. අඬන්නට එපා. නුඹට යන එන මගක් නැති නම් මම නුඹට තැනක් හොයලා දෙන්නම..” ඈ මට සහතික කරමින් මුමුණන සැටි  ඇසුණේ සිහිනයකින් මෙනි. අරුණෝදය වන තුරුම අපි දෙදෙනා එකිනෙකා වැළඳගෙන එලෙස සිටියෙමු..”

එලිය වැටුණු පසු අපි බෝට්ටුව යටින් එළියට විත් නගරය දෙසට ගියෙමු... ඉක්බිතිව මිතුරන් සේ සමුගත් අප වෙන් වී ගියේ නැවත හමු නොවනු පිණිසය. මා මෙහි විස්තර කල සරත් සමයේ එක රැයක මා සමග ගතකල සුන්දර නතාෂා හමසක් තිස්සේ සෙව්වද එය නිෂ්ඵල විය. ඈ මියගියා නම්, එය ඇයට කෙතරම් යහපත් දෙයක්ද! ඈට සදාකල් සමාදානය අත්වේවා! ඇය තවමත් ජීවතුන් අතර නම්, ඇගේ හදවතට සාමය උදාවේවා! ඇගේ ආත්මය කිසි විටෙක පාපය ඉදිරියේ දුබල නොවෙත්වා. මන්දයත් එයින් ඇගේ ජීවිතය ඵල රහිත වන අතර ඈ විඳින දුක් වලට එය අමතර බරක් වන බැවිනි.

Nissanka Rajapaksa

unread,
Jan 2, 2024, 5:08:49 PMJan 2
to INDRAKA group





65


එම්කි


(කැමරූන් ජාතික ලේඛිකා ඉම්බෝලෝ ම්බොයො ගේ කෙටි කතාවකි.) සිංහල පරිවර්තනය - රශ්මික මණ්ඩාවල

‘ඒක ලේවල ලෙඩක් ’, වෛද්‍යවරු ඔහුට පැවසූහ. 

ඔහු වැඩිදුර ප්‍රශ්න නොකළේ - තමාට ප්‍රතිකාර කිරීමට පැමිණි කවරෙකුට හෝ වඩා එම රෝගය ගැන දැන සිටි නිසාවෙනි. රුධිරය යනු ශරීරයේ ගංගාව බව සහ තමන් අපවිත්‍ර වීමත් සමඟම, ඉක්මනින්ම ශරීරය වෙව්ලන්නට පටන්ගෙන ගං ඉවුරක වියළී ගිය පැළෑටියක් සේ මරණයට පත්වන බව හේ දැන සිටියේය. මෙම සත්‍යය හෙතෙම දැන සිටි හෙයින්, ආරංචිය හමුවේ දැඩි ලෙස කම්පා වූ බවක් නොපෙන්වා දුර්වල ශුභවාදී බැල්මක් හෙළීය.  පළමු දින කිහිපයේදී ඔහු බැලීමට යුගල සහ ත්‍රිත්ව වශයෙන් එන සම්මානිත පිරිස දෙස බුලූ සහ මම ඔහුගේ පසෙක රැඳී සිටිමින් බලා සිටි අතර සමහර විටෙක මෙම පිරිස ඇඳ වටා අඩ සඳක් නිර්මාණය කිරීමට තරම් ප්‍රමාණවත් විය. ආහාර, නින්ද සහ මළපහ කිරීම ගැන ඔවුහු ඔහුගෙන් විමසා සිටියහ. ඇඳ ඉහ වාර්තා කියවා, හදවතේ ගැස්මට සවන් දී, එකිනෙකාට රහසේ කොඳුරාගත් ඔවුහු නමාගත් හිසින් යුතුව කාමරයෙන් පිටව ගියහ. හෙදියන් විසින් ඔහුගේ අතේ සහ පිට කොන්දේ නහරවලට එන්නත් කරන ලද ඖෂධ ඔහු තුළ නිද්‍රාශීලි බවක්  ඇති කළද, ඔහුගේ නින්ද කෙටි විය. ශරීරයට පොම්ප කරන ලද අතිමහත් රසායනික ද්‍රව්‍ය වලින් උත්තේජනය ලද බියකරු සිහිනයන්ගෙන් ඇති කරන ලද දහදිය සහ දාහය විසින් අවසානයේදී ඔහුව අවදි කරනු ලැබීය.  තුවායකින් දහදිය පිසදා ගැනීමෙන් අනතුරුව, හෙතෙම අපට බියකරු සිහින ගැන පවසයි. එක් සිහිනයක, ශරීරයක් නැති දෑත් වලින් ඔහුට ලේ වීදුරුවක් ලබාදී, ළමයෙකුගේ හඬින් එය එක උගුරට පානය කරන ලෙස ඔහුට පවසා තිබුණේය. තවත් සිහිනයක, තමාගේ හිස බන්දේසියක් මත සිට තමාට සිනාසෙන අයුරු ඔහු දුටුවේය. සති කිහිපයක් ඇවෑමෙන් ඔහු කෙසඟව ගොස් ඇටසැකිල්ලක් බවට පත්වූයේය. ඔහුගේ මිතුරන් වැල නොකැඩී පැමිණ ඔහුගේ ආත්ම ශක්තිය වැඩි දියුණු කළ අතර ඔහු ද ඔවුන්ගේ ආත්ම ශක්තිය ඉහළ නැංවුවේය. ඔහුගෙන් සමුගන්නා විට, එම ඇඳ මත වැතිර සිටින මනස සහ ආත්මය ඉතා හොඳින් පවතින නමුත් ශරීරයේ අන්තර්ගතයෙන් අඩක් අහිමිව ගිය ඔහුගේ දර්ශනයෙන් වැලපුණෙමු. 

ඔහුව බැලීමට පැමිණෙන සියලු දෙනාටම ඔහු නීතියක් පැනවූයේය: හැඬීම තහනම්. ඔයා මොනවටද අඬන්නේ, යැයි හෙතෙම කෙටි සිනහවකින් යුතුව අපෙන් අසනු ඇත. ඔව්, අප හඬන්නේ කුමටද, අප අපෙන්ම අසනු ඇත. මේ අන් අයෙකු නොව එම්කි ය. ඔහු අනෙක් අය සුවකරන්නෙකු වීමට සිටියේය. ඇයි ඔහු තමන්වම සුව කර නොගන්නේ? ඔහුට වෛද්‍යවරයෙකු වීමට අවශ්‍ය වූයේ යම් පුද්ගලයෙකුට යහපත් සෞඛ්‍යයක් ලබාදීම යනු ඔහුට දිගු කාලීනව වටිනා ජීවිතයක් ලබාදීම යැයි විශ්වාසයක් තිබූ හෙයිනි. හැමෝටම යහපත් සෞඛ්‍යයක්, අප්‍රිකාවට වඩාත්ම අවශ්‍ය දෙය බව ඔහු නිතර කීවේය. ආදර්ශ ප්‍රජාතන්ත්‍රවාදි ආයතන මත රැඳී ඇති අප්‍රිකාවේ අනාගතය ගැන කතිකාව ඔහුව පුදුමයට පත් කළේය. එවැනි විසිතුරු බටහිර දෘෂ්ටිවාදයන් කිසිදාක අපගේ ජනතාව අතර මුල්බැස නොගන්නා බව ඔහු නිතර පැවසුවේය. ඔහුට අනුව සියලු මිනිසුන් සමාන නොවන අතර සෑම ඡන්දයක්ම එකම බරක් සහිත ඒවා නොවීය. මන්ද වැඩිහිටියන් තරුණයන්ට වඩා බුද්ධිමත් බැවින්, ඔවුන්ගේ ඡන්දයට වැඩි බරක් තිබිය යුතුය. දුප්පතුන්ට වඩා පොහොසතුන් බලවත් බැවින් ඔවුන්ගේ ඡන්දය බලවත් ලෙස දැකිය යුතුය. මේ සියල්ල ගැන සලකා බලා වගුගත නොකළ යුතු දැයි ඔහු නිතර තර්ක කළේය. අප්‍රිකාව පුරා විසිරී සිටින ගෝත්‍රික සමාජ මේ සියල්ල දරාගැනීමට නොහැකි තරම් කුඩා ද? එවැනි සමාජ ඡන්ද දායකයන් තල්ලු කරන්නේ ඔවුන්ගේ බුද්ධියේ කුසලතාවය මත නොව, තම පෞරාණික ගෝත්‍රික ගම්මානයට යන පාරට තාර දමා ගැනීමේ ක්‍රමයක් ලෙස ගෝත්‍රික නායකයාගේ විශ්වාසය පදනම් කරගෙනය. එවැන්නක් අවශ්‍ය නොවන්නේ කා හටද? බටහිර කුහක ප්‍රතිපත්ති, යැයි ඔහු විහිලු කරනු ඇත.  සියලු මිනිසුන් සමාන වන්නේ කවර නම් ග්‍රහලොවකද? ඇමරිකාවේ, මේ ශ්‍රේෂ්ඨ රටෙහි, මේ පරිපූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී රටෙහි පවා, පොහොසතුන් දුප්පතුන්ට උසස් වන අතර තරුණයන්ට වැඩි ගෞරවයක් ලැබෙන්නේය. ඉතින් නැහැ, අපට අවශ්‍ය වන්නේ ආනයනය කරන ලද ආණ්ඩුවක් පිළිබඳ අදහසක් නොව, යහපත් සෞඛ්‍යයකින් යුතුව ජීවත් වෙමින්, අපට ගැලපෙන පරිදි අපවම පාලනය කර ගත හැකි ආණ්ඩු ක්‍රමයක් බව ඔහු නැවත කියනු ඇත.  

ආහ්, එම්කි. විශ්මයාකාර එම්කි. 

ඔහු නොමැති ජීවිතයක් අපට ළඟදීම නොඑළඹෙන බව අපි අපටම කියාගතිමු. ඔහුගේ මෙම රෝගය මුළාකිරීමක් පමණක් බව අප අපටම ඒත්තු ගන්වා ගත් අතර ඔහු එය තම දෙමාපියන්ට ද ඒත්තු ගැන්නුවේය. තමා රෝහලින් පිටවූ වහාම ඔවුන් බැලීමට පැමිණෙන බැවින් නිවසේම රැඳී සිටින ලෙස ඔහු විසින් දන්වන ලදී. සමහර විට දෙමාපියන්ට පමණක් ඇති බලාපොරොත්තුව, තමන්ගේ දරුවන් තමන්ට වඩා කල් ජීවත් වන බවට වූ බලාපොරොත්තුව නිසා හෝ ඔවුන් විසින් ඔහුව විශ්වාස කළ නිසාවෙන්, ඔවුන් අප්‍රිකාවේ නැවතුණු බැවින්, ඒ අධම රෝගය සමඟ ඔහු සටන් කරන අයුරු දැකබලා ගැනීමේ අවස්ථාව ඔවුන්ට අහිමි විය.   

එහෙත් මට කිසිදු අවස්ථාවක් මඟහැර ගත නොහැක. 

විවේකි පැය වලදි මම ඔහු සමඟ සිටියෙමි. ඔහුගේ වම්පසින් වූ පුටුවේ හිඳගෙන මම ඔහු නැවත දෑස් හරින තුරු ඔහු සැතපී සිටින දෙස බලා සිටිමි. ඒවා විවර වූ විට, ඔහුව බැලීමට පැමිණි අය සහ ඔහු වෙත ගෙනා තෑගි සහ ප්‍රාර්ථනාවන් ගැන මම පැවසීමි. බොහෝ වේලාවන් හීදි ඔහු ඔහේ හිස වනා නැවත නින්දට, බියෙන් තැති ගන්නා සිහින ඇති ස්ථානයට ගියේය. දිවාකාලයේ ඔහු අවදිව ඉන්නා දිනවලදී අපි කොඳුරන හඬින් නිස්සාර දේවල් ගැන: වෛද්‍යවරිය පැළඳගෙන සිටි දම් පැහැති පාවහන්, රෝහලේ කෑම බිම වල නීරස බව, බුලූ ගේ අලුත් කොණ්ඩා මෝස්තරය ගැන කතා කළෙමු. ඔහුගේ රෝගය, අගෝස්තුවේ ලැව් ගින්නක් මෙන් සියල්ල දවාලමින් අප අතර ඇවිළී ගියේය. ඔහු දෙස හෙළන සෑම බැල්මකින්ම මගේ හදවත විශාල විය. මෙම තත්වය තුළ ඔහු සිටින අසුන්දර ස්වභාවය පවා පරයමින් ඔහු තුළ ඇති සුන්දරත්වය ජය ගන්නා අයුරු පෙනිණි. ඔහුව මා දෙසට ඇදගෙන, වැළඳගෙන ඔහුට යා යුතුම නම් මාවද රැගෙන යන පැවසීමට කැමැත්තක් මා තුළ විය. තවත් විටෙක මටම පමණක් සුව කළ හැකි යැයි විහ්වාස කළ ක්‍රමයකට ඔහුව සුවකරගන්නට ඔහුගේ ඇකිළෙන සිරුර රැගෙන පළා යන්නට මට සිතෙයි. සෑම විටම මා ඔහුගේ ඇඳ අසල වාඩිවි සිටිනු දැක ඔහුට මා ගැන වෙනස් දෙයක් - මට ඔහු ගැන දැනුණු වඩාත් සමීප හැගීමක්- දැනේවා යැයි මම ප්‍රාර්ථනා කළෙමි. එහෙත් එවැනි දෙයක් නොමැති බව ඔහුගේ වැසුනු දෑසින් පවා මට දැකගත හැකි විය. ඔහු ගැන මට කිසිදු අයිතියක් නොතිබිණි. ඔහුට අයිතිවාසිකම් කිව හැකි එකම ගැහැණියට සියොරා ලියෝන් හි හිඳිමින් ඔහු සුව වන පුවත ලැබෙන තෙක් බලා සිටීම පමණක් කළ හැකි විය. 

වැසි සහිත රාත්‍රියක ඔහු නින්දේදීම මිය ගියා වැනි පුවතක් කොහෙත්ම නොවීය. 

මට කිසිදාක මතක තබාගත නොහැකි ආකාරයේ සිහිනයකින් වෙව්ලමින් මම එදින උදැසන අවදි වූයෙමි. පාසලේ සිට වැඩ කරන ස්ථානයට, වැඩකරන ස්ථානයේ සිට රෝහලට බසයෙන් යන තෙක්  එහි අන්තර්ගතයන් සමඟ වැස්ස ඇද හැලෙන අයුරු මම දුටුවෙමි. ඔහුගේ කාමරයට මා පිවිසෙන විට ඔහු එතැන නොවීය. එක් කෙටි මොහොතකට ඔහු තමන්ගේ සයනයට ඉහලින් පාවෙන බවක් දුටු බව මා කල්පනා කළ ද, ඊළඟ තත්පරයේදි ඔහු කොතැනකවත් නොවිණි. ඔහු කොතනදැයි කාගෙන් හෝ විමසන්නට හෙදියන්ගේ ස්ථානය වෙත යන අතරතුර, විවර වූ මුඛයෙන් යුතුව, දෑත් හිස මත තබාගත් බුලූ කොරිඩෝව දිගේ වේගයෙන් එන අයුරු මම දුටුවෙමි.  

ගිහිල්ලා! ගිහිල්ලා!

මොකක්? මොනාද ඔයා කියන්නෙ, බුලූ? 

එම්කි අපිව අතෑරලා ගිහින්! එම්කි ගිහින්!

වසරකට පසුවත්, ඔහු ජීවත්ව සිටියදී මට කියනු ඇතැයි මා ප්‍රාර්ථනා කල දේවල් කියන, මා ප්‍රාර්ථනා කල අයුරින් මා වැළඳගන්නා, ඔහුව මම තවමත් මගේ සිහින වල දකිමි. සෑම සිහිනයක්ම අවසානයේදි මුළුමනින්ම ජලයෙන් නිර්මිත රටක සංචාරය කරන්නට ඔහු නික්ම යයි. සදාකාලිකව පාවෙන ඒ රට මම දුර සිට දකිමි. මා ඔහු පසුපස දිව ගියද, ඔහු ජලය බවට හැරුණු අතර, එම රට විසින් ගිලගන්නා ලදී. මෙම සිහිනවලින් අවදිවන විට මගේ සයනය තෙත් ව තිබේ. මම හැඬුව ද, ඒ කදුළු හාර්ලම් හි නිවසක අවමංගල උත්සවයේ අලංකාර නොකල මිනි පෙට්ටියක ඔහු වැතිර සිටිනු දකිද්දී මා කෑ ගසා හැඬු විට ආ කඳුළු තරම් අමු ඒවා නොවේ. ඒ ඔහුව මගේ දෝතට ගැනීමට තිබූ අවසාන අවස්ථාව වුව ද, මට කල හැකි වූයේ දණින් වැටීම පමණි.  

ෆ්‍රීටවුන් වලින් හැතැප්ම පනහක් පිටතින් පිහිටි පෞරාණික ගම්මානයට එම්කි ගේ දේහය රැගෙන යාම සඳහා ඔහුගේ පියා පැමිණියේය. බුලූ සහ මම ඔහු සමඟ ගුවන්තොටුපළට ගියෙමු. අවමංගල්‍ය ශාලාවේ රථයේ පිටුපස, ඔහු කිසිදාක නොතේරු ඇඳුමක් හැද, අයිස් පෙට්ටියක් ඇතුළත සීතලෙන් ගල්ගැසි දත් නියවමින් එම්කි කකුල් පහේ සංචාරයට සැරසී වැතිර සිටියේය. බුලූ, එම්කි සහ මම එකතුව ගිය ස්ථාන වේගයෙන් පසුකර යන විට බුලූ ගේ අත ගෙන හඬන්නට මට අවැසි වුවද, මට කල හැකි වූයේ මගේ කබායේ වාටියෙන් මගේ දෑස් සහ නාසය පිසදැමීම පමණකි. මගේ දකුණු අත පැත්තෙන්, එම්කිගේ පියා ශෝකයෙන් බරිතව වාඩිවී සිටියේ මුහුදු වෙරළ අද්දර දී මගේ මාමා ව වළ දැමූ දිනයේ මගේ සීයාගේ මුහුණේ තිබූ පෙනුමෙන් යුතුවය. තම එකම පුත්‍රයා වළ දැමීමෙන් පසුව ද ජීවිතය ගෙන ගිය මගේ සීයා ගැන එම්කිගේ පියාට පවසන්නට මට උවමනා විය. එම්කිගේ මරණයෙන් පසුව ඔහු ද ජීවත් වන බව විශ්වාසයෙන් යුතුව පැවසීමට මට අවැසි වුව ද, මම එසේ නොකළෙමි. හදවත විවිධාකාරයෙන් ඉරි තලා යන අතර ඒවා සුව වන ක්‍රමවේදය මනුෂ්‍යාගෙන් මනුෂ්‍යාට වෙනස් වේ. සමහර විටෙක මෙවැනි දුක්ඛදායකයන්ගෙන් ගැලවීමට අපට නොහැකිය.   

(ඉම්බෝලෝ ම්බොයො (Imbolo Mbue)  යනු කැමරූන් රාජ්‍යයේ උපත ලබා මේ වන විට නිව්යෝර්ක් නගරයේ ජීවත් වන ලේඛිකාවකි. ඇය සාහිත්‍ය ලෝකයට පිවිසෙන්නේ Emke නම් කෙටි කතාව හරහායි. ඇය විසින් 2016 වසරේදී පෙන්ගුයින් ප්‍රකාශන සමාගම හරහා ප්‍රකාශයට පත්කරන ලද Behold the dreamers නම් නවකතාවට PEN/Faulkner Award සම්මානය සහ Blue Metropolis Words To Change යන සම්මාන ද්විත්වය හිමිවීමත් සමඟම ඇය ලොව පුරා ජනප්‍රියත්වයට පත්වූවාය. එමෙන්ම ඩොලර් මිලියනයක ගිවිසුමකට පෙන්ගුයින් සමාගම සමඟ එළඹෙන්නට ද ඇයට හැකි විය. තවද 2021 වසරේ ඇය විසින් නිකුත් කරන ලද How beautiful we were නම් කෘතිය New York times best seller දර්ශකයට එකතු විය.)


Nissanka Rajapaksa

unread,
Jan 3, 2024, 6:20:50 PMJan 3
to INDRAKA group
66
පොළව ලේ පිපාසිතව 

- ස්වාසිලන්ත ජාතික (now  Eswatini) න්ට්සිකා කෝටා ගේ  "and earth drank deep" කෙටිකතාවේ පරිවර්තනය රශ්මික මණ්ඩාවල විසිනි.

උදෑසන සිසිල් වාතය දඩයක්කාරයාගේ පෙනහළු තුළට ඇතුළුව පිටවිය. පින්නෙන් තෙතබරිත වූ තණගොල්ල ඔහුගේ පාද කලවා තෙක් තෙමා දැමුවේ ඔහු ඒ හරහා දිවගිය විටදී ය. ඔහුගේ දඩයම වූ ඇන්ටිලෝපයා සෙසු දඩයක්කරුවන් පිරිස ගිය මාවත දිගේ පලා යමින් සිටියේ - යටි සුළඟට සහ උසැති තණ පඳුරුවලට මුවාවෙමිනි. කලබලයට පත් සත්වයා පලායද්දී දඩයක්කාරයා අලංකාර චාපයක් සේ තනි හෙල්ල ඔසවා ඇන්ටිලෝපයාගේ බඩ ඉලක්ක කර විසි කළේ ය. මෘගයා නොනැවතී දිව ගියද, කෙමෙන් වේගය අඩුව ගොස් බිම ඇද වැටුණේ ය.  

තම ප්‍රථම දඩයමෙන් උද්දාමයට පත්වූ දඩයක්කාරයා බිම වැටුණු සත්වයා වෙත ළඟාවීමට පය ඉක්මන් කළේ ය. දැනටමත් නිර්මාණය වෙමින් තිබූ ලේ විලක, වේගයෙන් හුස්ම ගනිමින් සිටි සත්වයා තවමත් ජීවත් වනු දැකීම තරුණයාගේ පුදුමයට හේතු විය. වෙහෙසට පත් භීතියකින් පිරී ගිය, නැතිනම් මරණය බලාපොරොත්තුවන ගව කුළයට අයත් දෑස් දෙස ඔහු බැලුවේ ය. දෑස් තුළ තිබුණේ ඒ දෙකෙන් කුමක්ද යන්න ඔහුට හරියටම නිච්චියක් නැත. එහෙත් ඔහු එම දෑස් තුළට ඇදී ගියේය. වේදනාව. දුක. තමන්ගේ හුස්ම වැටීම පෙරට වඩා අපහසු බවක් ඔහුට වැටහිණි. එමෙන්ම ඔහුගේ හදවත වේගයෙන් ගැහුණේය. ප්‍රීතියෙන් පළල් වූ ඇස්වලින් යුතුව ලේ වැගිරුණු මසෙහි ගිලී ගිය හෙලි තුඩ සොයාගත් ඔහු එය පරිස්සමෙන් කරකවන විට ඇන්ටිලෝපයා සිහින් වේදනාබර හඬක් පිට කළේය. 

තම දෙපතුල ළඟ සිටින තුවාල වූ සත්වයා වෙත ඔහුගේ අවධානය මුළුමනින්ම යොමුව පවතින අතරේ දඩයක්කාරයා ඔහුගේ අනිත් අත හෙල්ලය වෙත දිගු කළේ හෙල්ල වඩා හොඳින් ග්‍රහණය කර ගැනීමට ය. ඔහු එක්වරම තිගැස්සී තම දැහැනින් මිදී ගියේ තවත් හෙල්ලයක තුඩ ඇන්ටිලෝපයාගේ හදවත කෙළින්ම පසාරුකරගෙන යාම නිසා ය. ඌ වහාම නිසල විය. ඔහු ඉහළ බැලූ විට අප්‍රසාදය සහ කෝපය මුසු බැල්මකින් බලා සිටින සුංගු දුටුවේය. සත්වයාට වේදනා විඳීමට ඉඩදීම ගැන පවසමින් සැබෑ දඩයමට ඔහු සම්බන්ධවීමට සූදානම් නොවිය යුතු බව හඟවමින් සුංගු බැන වැදුණේය. දඩයක්කාරයා තත්පර කිහිපයකට පෙර ඔහුගේ මුහුණ පුරා තිබූ ප්‍රීතිය වසන් කරමින් - එසේ වේ යැයි ඔහු බලාපොරොත්තු විය - ගරුසරු බවක් ආරූඩ කරගෙන සමාව අයැද සිටියේ ය.

සෙසු කණ්ඩායම ඉක්මනින් ඔවුන් වෙත ළඟා වූ අතර දඩයම් කරන ලද සතුන්ගේ බඩවැල් සහ ආපසු නිවස බලා යන දුෂ්කර ගමනේදී මලකඳන් රැගෙන යාම සඳහා වියගහක බැඳ ගැනීමට පෙර අනවශ්‍ය කොටස් මුවහත් කරන ලද පාෂාණිත පිහි මගින් කපා ඉවත් කිරීමට ඔවුහු සැරසුණහ. ඔවුහු සිය කාර්යය අවසන් කර ආපසු යාමට සූදානම්ව සිටි වේලාවෙහි, අහසේ හිරු මුදුන් වූයේ ගිම්හානයේ චණ්ඩ හිරුරැස් ද රැගෙන ය. දඩයම් පාටිය සුංගු ගේ නායකත්වයෙන් ආපසු යාමට පිටත් වූයේ ජය ගී ගයමිනි. කුණු බුදින සත්තුන්ට සොයාගත හැකිවන පරිදි ඔවුහු අතුණු බහන් කඳු ගසා තැබූහ.   

ආපසු එන ගමනේ ඒකාකාරීබව තුළ, ඇනිට්ලෝපයාගේ මරණය ගැන දඩයක්කාරයා යළි යළිත් සිහිපත් කළේ ය. හොඳින් සුළං හමන සෑමවිටම එහි ලේ ගඳ ඔහුට දැනුණද දැන් එය මාංශයක් පමණක් හෙයින් ඔහුට ඒ ගැන එතරම් උනන්දුවක් නෙවීය. ඔහු ඒ ගැන වැඩියෙන් සිතන්නට සිතන්නට, තමා තුළ වශීභාවය ඇතිවූයේ ජීවිතයේ සාරය නිවී යනු දැකීමෙන් බව ඔහු වඩා හොඳින් වටහා ගත්තේ ය. බිය, ව්‍යාකූලත්වය සහ වේදනාව. පසුගිය කාලවල අවමංගල්‍ය චාරිත්‍රවලදී ඔහු මරණය දැක තිබුණද, මරණය සහ ජීවිතය, මරණය සහ මියයාම යන ද්විත්වය අතර සම්බන්ධය ඇති කළේ මේ අවස්ථාවේදී පමණි. ඊළඟ දඩයම තෙක් ඔහු ආශාවෙන් බලා සිටියේ ය. 

ඔවුහු නැවත කඳවුරට ආපසු දඩයම් පාටියේ කණිෂ්ඨ සාමාජිකයන්ට මස් ඉවීම සහ කල් තබාගැනීම සඳහා පිළියෙල කිරීම ආරම්භ කිරීමට උපදෙස් ලැබිණි. ජ්‍යෙෂ්ඨයෝ බුගානු බීර බොමින් විවේක ගැනීමට සහ හිරුගෙන් සමුගැනීම සඳහා න්ඩ්වුනා න්යාති ගේ පැල්පත වෙත ගියහ. සමුගන්නා විට සුංගු දර එකතු කරන ලෙස සහ ආහාර පිසීමට ගිනි මැලය දල්වන ලෙස දඩයක්කාරයාට උපදෙස් දුන්නේ ය. එය දරුවෙකුගේ කාර්යයකි. පිළිතුරක් බලාපොරොත්තු නොවූ සුංගු හැරී ඔහුගේ ගමන යන්නට ගියේ ය. ආපසු හැරී යන සුංගු ගේ පිටුපසට රෞද්‍ර බැල්මක් හෙලූ දඩයක්කාරයා කඳවුරෙන් පැන දිව්වේ ය. දර එකතු කිරීමේ කිසිදු අදහසක් ඔහුට නොතිබිණි.  

ඔහු කඳවුර තිබූ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට කන්ද පහළට ගමන් කළේ ය. කන්ද පාමුල වූ තුරු අතර සැරිසරමින් ආහාර පිළියෙල වන තුරු සැඟවී සිටීමට තැනක් සොයාගැනීමටය ඔහුට අවශ්‍ය වූයේ. තුරු පෙළ වෙත ළඟාවීමට ප්‍රථම ඇසුණු කැළඹිලි සහිත මෙන්ම පීඩාවට පත් හඬක් ඔහුගේ අවධානය දිනාගත්තේ ය. බඩවැටිය තුළින් මතුවූයේ යාබද ජනාවාසයක තරුණියන් සිවුදෙනෙකි. ඔවුන්ගෙන් දෙදෙනෙකු තුන්වෙනියාගේ උරහිස් අතරින් අත් දමා වත්තන් කරගෙන පැමිණියහ. දණහිසට පහළින් ලේ ගලමින් තිබූ ඇගේ එම කකුළට බර දී ඇවිදීමට ඇයට නොහැකි විය. ඔවුන්ට පිටුපසින් විශාල අත්තක් කර තබාගෙන ඇගේ උරහිසට උඩින් නිතරම නොසන්සුන් බැල්මක් හෙළමින් සිවුවෙනියා පැමිණියේ ය.    

ඒ සඳහා මැදිහත්වීමට වෙනත් අයෙකුට ඉඩ තබා දඩයක්කාරයා කාන්තාවන් මඟහැර යා හැකිව තිබුණද, විවෘත මගෙහි ඔවුහු එක්වරම ඔහුව දුවුවෝය. තමාගේ සමාජ තත්වයට සාධාරණ බරපතල ප්‍රතිවිපාක නොමැතිව දැන් ඔවුන්ව මඟහැර යා නොහැකි බව ඔහු දැන සිටියේ ය. ඔහු තම මුහුණෙහි අවධානය යොමුකරන බැල්මක් මවාගෙන උදව් කිරීම සඳහා වහා ඉදිරිපත් වූයේ ය. ඔවුන්ගේ ගමන ඉක්මන් කරවීම සඳහා ඇයව තම දෑතින් ගත් ඔහු කඳවුර බලා වේගයෙන් පියවර තබන්නට පටන් ගත්තේ ය. තුවාල වූ තරුණිය කෙළින්ම න්යංගා ගේ පැල්පත වෙත ගෙන ගිය ඔහු සැලකිල්ලක් දක්වන බව පෙන්වීමට තරම් සුදුසු කාලයක් එහි රැඳී සිටියේ ය. ඇගේ වේදනා බරිත විලාප හඬ න්යාති සහ අනෙක් පිරිමින් ගේ අවධානය වහා දිනාගත්තේ ය. කාරණය පරීක්ෂා කර බැලීම සඳහා ඔවුහු වෙදදුරාගේ පැල්පත වෙතට පැමිණියහ. පැල්පත වහා සෙනගින් පිරී ගිය හෙයින් තුවාල වූ තරුණියගේ මිතුරියක හැරෙන්නට අනිත් සියල්ලන්ම පිටකරන්නට වෙදදුරා කටයුතු කළේ ය.   

පිටත දැන් සන්සුන්ව සිටි අනෙක් තරුණියන් දෙදෙනා, සිදුවූ දේ කුමක්දැයි දැනගැනීමේ කුතුහලයෙන් රැස්වූ න්යාති ඇතුළු පිරිසට සිදුවීම පැහැදිලි කළහ. ඵලබර තුරු ගොමුවකින් බෙරි සහ මුල් එකතු කරමින් සිටියදී ඔවුන්ගේ කණ්ඩායම වෙත ප්‍රකෝපයට පත් නොවූ වෘකයෙකු කඩා පැන තිබිණි. පිරිස එකතුව කෑ ගැසීමෙන් සහ අතු කැබලි වලින් පහර දීමෙන් වෘකයාව බය කර පළවා හරින්නට සමත් වුවද පිරිසේ අයෙකු දරුණු ලෙස සපාකන්නට ඒ වනවිටත් ඌ සමත්ව තිබිණි. වෘකයා ජල භීතිකාවෙන් පෙළෙන්නට ඇතැයි කණස්සලු මැසිවිලි මතුවන්නට විය. ඌ නැවත පහරදීමට හෝ අනෙක් සත්වයන්ට එය බෝ කිරීමට පෙර තත්වය පාලනය කළ යුතු ය.   

පැල්පත තුළ තුවාලව සිටින තරුණිය කෙරෙහි ඇති බලපෑම කිසිවෙකුගෙන් ප්‍රකාශ නොවිණි. 

පිරිස නිහඬ කළ න්යාති වෘකයාගේ කටින් කෙළ වැගිරෙනු ඔවුන් දුටුවේදැයි තරුණියන්ගෙන් සන්සුන්ව විමසා සිටියේ ය. සමස්ත සිදුවීම ම ඉතා ඉක්මනින් සිදුවූ නිසා බොහෝ දේවල් මතක තබාගැනීමට නොහැකි වූ බැවින් එය පැහැදිලිවම කිව නොහැකි බව ආයාචනා ස්වරයෙන් තරුණියෝ පවසා සිටියහ. පිරිස අද්දරට පැමිණි දඩයක්කාරයා වටපිට බලන විට සුංගු ගේ බැල්මට හසුවිය. ඔහු වෙනතක් බැලුවේ නැති. සුංගු ගේ නිමක් නැති පහත් වැඩ වලින් කෝපයට පත් දඩයක්කාරයා ඒ ගැන යමක් කිරීමට තීරණය කළේ ය. 

මෙම තර්ජිත සත්වයා මරාදැමීම සඳහා දඩයම් පාටිය නිර්මාණය කරන්නේ කවුරුන්ද යන ප්‍රශ්නය වෙත සාකච්ඡාව මාරු වී තිබිණි. සත්වයාට සැබවින්ම ජලභීතිකාව වැළඳී ඇත්නම් එය අතිශයින් භයානක ක්‍රියාවකි. සුංගු දෙස සෘජුව බලමින් දඩයක්කාරයා තම අත ඔසවා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූයේ ය. අනෙක් අයගේ මුහුණේ ඉරියව් වටහාගත නොහැකි වෙස් මුහුණක ස්වරූපය ගත්තේ ය. න්යාති ගේ පැණයට පිළිතුරු දෙන මොහොතේ පමණක් දඩයක්කාරයා සුංගු වෙතින් සිය දෑස් ඉවතට ගත්තේ ය. තමන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වන කාර්යයෙහි ඇති භයානකකම වැටහෙන බව න්ඩ්වුනා ට සහතික කළ තරුණයා එනමුත් තමන්ට තමාගේ ජනතාව ආරක්ෂා කිරීමට අවශ්‍ය බැව් පැවසුවේ ය. තරුණ නිර්භීතකම ප්‍රකාශ කිරීමට ඔහු සිනහවක් එයට එක් කළේ ය.    

න්යාති හිස වනා අනෙක් පිරිසට අමතමින් දඩයම සඳහා තවත් අයෙකුට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වන ලෙස කියා සිටියේය. එක් අයෙකු; තවමත් දඩයමේ නියැළෙන පිරිසේ වයස්ගත පුද්ගලයා වූ ම්වුබු කතා කළේ ය. සෘතු ගණනාවකට පෙර දරු ප්‍රසූතියේදී සිය බිරිඳ සහ දරුවා අහිමි වූ දා සිට ඔහු නිහඬ මිනිසෙකු වූයේ ය. ඔහු කිසිදා නැවත විවාහ වූයේ නැති. දඩයක්කාරයා ම්වුබූ ව එතරම් හොඳින් දැන සිටියේ නැති මුත් එකතු වන්නේ සුංගු නොවේ නම් අනිත් කවරෙකු වුවද ඔහුට ඒ පිළිබඳව විශේෂයක් නොවිණි.  

සූර්යයා ක්ෂිතජයෙහි සැඟව යන්නට ඇත්තේ සීමිත කාලයක් බැවින් තමන්ගේ ආයුධ ඉක්මනින් අතටගත් ම්වුබූ සහ දඩයක්කාරයා එතැන සිටි පිරිස විසින් ගොමුව වෙත යා හැකි යැයි පෙන්වූ මඟ ඔස්සේ කන්ද දිගේ වේගයෙන් දිව යන්නට පටන් ගත්හ. කිසිදු සංවාදයක නොයෙදීමට ම්වුබූ ස්වේඡාවෙන් කටයුතු කළ අතර නිහඬතාවය රැකීම ගැන දඩයක්කාරයා සතුටු වූයේ ය. ඔහුට ඇසිය හැකි එකම ශබ්දය නම් සුළඟ ඔහුගේ කණ අසලින් හමායන හඬ සහ ඔහුගේ සුසුම්වල ස්වරය පමණි.   

ඔවුන්ගේ වේගය අනුව ගොමුව වෙත ළඟාවීමට ඔවුන්ට වැඩි වේලාවක් ගත නොවීය. ඔවුහු නතර වී තත්වය තක්සේරු කළහ. උණුසුම් වාතය වෘකයාගේ මළපහ ගන්ධයක් ඈතින් රැගෙන ආවේ ය. ම්වුබූ ඉතා හොඳ අත්දැකීම් ඇති මඟ සොයාගන්නෙකු වූ බැවින් එදින උදෑසන පළාගිය සතුන් විසින් ඉතිරි කර ගිය සලකුණු සොයාගත්තේ ය. ඔහු දඩයක්කාරයාට සංඥා කළේය. කෙමෙන් පසුපසට අඩි තැබූ ඔවුහු හෙල්ලයන් සූදානම් කරගෙන නිශ්චල වාතයෙන් ඇසෙන ඕනෑම හඬකට සවන් යොමුකළෝ ය. ලේ සලකුණු ආරම්භ වූ තැන සිට ම්වුබූ විශාලවන සර්පිලාකාර ගමන් මඟක පරිස්සමෙන් ගමන් කළේ පසුබැස ගිය වෘකයාගේ සලකුණක් දැකගැනීමේ අපේක්ෂාවෙනි. ඉක්මනින්ම එය සොයාගත් ඔහු තමන් පසුපසින් එන ලෙස දඩයක්කාරයාට සංඥා කළේ ය. 

එකෙණෙහි ම නිහැඬියාව බිඳී ගියේ බියකරු ගෙරවුම් හඬකිනි. තුරු ගොමු අතරේ මනාව සැඟව ඇති කුඩා ගුහාවකින් එම හඬ මතුව ආවේ ය. පඳුරු අතරින් වෘකයෙකු බඩගාගෙන ආවේ ය. පිම්බුණු උදරයකින් යුතු වූ ඌ සිටගෙන සිටියේ දැඩි අපහසුවකිනි. උගේ ස්වභාවය කෙසේ වුවද එහි ලියැවී තිබුණේ තම පැටවුන් ආරක්ෂා කරන මවකගේ මාරාන්තික අධිෂ්ඨානයයි.   

එදින උදෑසන සිදුවන්නට ඇති දෙය වටහාගත් ම්වුබූ සහ දඩයක්කාරයා පියවර ආපස්සට ගෙන සෙමෙන් සහ කල්පනාවෙන් ගුහාවෙන් ඈතට පියමනින්නට පටන් ගත්හ. ඇස් ගැටීමක් හෝ කවරාකාරයේ ශබ්දයක් ඇතිවීම වළක්වා ගැනීමට ඔවුහු කටයුතු කළහ. වෘක දෙන ඔවුන් පණිවුඩය තේරුම්ගත් බව වටහාගන්නා තෙක් තවදුරටත් රැකවල්ලා සිටි අතර ඉන්පසුව ඇය යළිත් බිම වැතිරී දැඩි සෝදිසියකින් පසුවූවා ය. 

අවසානයේදී ඔවුන් ආපසු ගොස් සොයාගත් දේ පැවසිය යුතු බව යෝජනා කිරීමට ම්වුබූ දඩයක්කාරයා දෙසට හැරුණේ ය. එක්වරම, ඔහුට පිටුපසින් වූ පඳුරු අතරින් මතුවූ දුඹුරුපැහැ නොපැහැදිලි යමක් ඔහුගේ කකුල්වලට කඩා පැන්නේ ය. දෙවෙනි වෘකයා ක්ෂණිකව ම්වුබූ මතට පැන්නේය. ඔහු බිම ඇද වැටී හෙල්ල ගන්නට අත දිගු කරද්දී ඌ ඔහුගේ හෙල්ල තිබූ අතෙහි මැණික් කටුවෙන් අල්ලා හොලවන්නට පටන් ගත්තේ ය. දැඩි වේදනාවෙන් කෑගැසූ ඔහු තම අනෙක් අතෙහි වූ පළිහෙන් වෘකයාට පහර දීමට උත්සාහ කළේ ය. එහෙත් එයින් ඵලක් වූයේ නැති. ඔවුන්ගේ සටන නිසා තණ බිමෙන් දූවිලි ඉහළ නැංගේ ය.  
කෝපයට පත් වෘකයාගේ අභිප්‍රාය වූයේ ඔහුව ආබාධිත කිරීම ය. ම්වුබූ උදව් ඉල්ලා කෑගැසුවද දඩයක්කාරයා පඳුර ළඟ ගල්ගැසී සිටියේය. උද්වේගයට ඔහුගේ සමෙහි හී ගඩු පිපෙන බව ඔහුට දැනිණි. මහත් පරිශ්‍රමයක් දරා සිට ගැනීමට සටන් කළ ම්වුබූ වැඳ වැටුණු ඉරියව්වකට වැටුණේය. මෙය තමාගේ අවස්ථාව බව වටහාගත් වෘකයා පහර දුන්නේ ය. වෘකයා මැණික් කටුවේ ග්‍රහණය ඉවත් කර දත නියවමින් බෙල්ලට පහර දුන්නේ ය. උගේ ප්‍රහාරයේ බලයෙන් ම්වුබූ යළිත් බිම ඇද ටැටුණේ ය. ඔහු සටන් කරන්නට උත්සාහ කළද ඔහු ගේ පළිහ ශරීරයට යටවී තිබීම නිසා එයින් ඵලක් නොවිණි. 

වෘකයාගේ අවධානය සම්පූර්ණයෙන්ම ම්වුබූ වෙත යොමුව ඇති බව දැනගත් දඩයක්කාරයා හෙල්ල ගෙන උගේ හදවත පසාරු කරගෙන යන ලෙස හෙල්ලෙන් ඇන්නේ ය. ඌ යාන්තම් කෑ ගසා නිසල විය. ඔහු ම්වුබූ වෙත අවධානය මාරු කළේ ය. මිනිසා යමක් කීමට උත්සාහ කළද ඔහුගේ තුවාල වූ උගුර එයට ඉඩ දුන්නේ නැත. දඩයක්කාරයා වචනයකදු නොකීවේ ය. ම්වුබූ නැගීසිටීමට උත්සාහ කළද ඉතා දුර්වල ව සිටි හෙයින් ඔහුගේ සිරුර යට හැඩගැහෙමින් තිබූ ලේ විල මතම යළි ඇදගෙන වැටුණේ ය. ඔහු ව්‍යාකූල බවකින් යුතුව දඩයක්කාරයා දෙස බැලුවේ ය. එසේ කළේ මන්දැයි ඔහුගේ දෑස් විමසා සිටියේය. පැහැදිලි උද්වේගයක් මිස දඩයක්කාරයාගේ මුහුණේ කිසිදු පිළිතුරක් නොවිණි. ඔහුගේ හුස්ම ගැනීම සහ කැස්ස ඉක්මනින්ම අඩුවී නිහඬ විය. දඩයක්කාරයා බිමට නැමී ම්වුබූ ගේ මුහුණට එබී බලා සිටියේය. අවසාන ඇසිපිය සැලීම තෙක් බලාසිටියේ ය. 

එය අවසන් වූ පසු ම්වුබූ ව ඔසවා කර මත තබාගත් දඩයක්කාරයා කඳවුර වෙත ආපසු යාමට පටන් ගත්තේ ඔහුගේ පළිහ සහ ලේ වැකි හෙල්ල ද එක අතක අතැතිව ය. ඔහු ම්වුබූ ගේ දේහයද කරමත තබාගෙන ඔහුට යා හැකි උපරිම වේගයෙන් පියමං කළේ අඳුරේ මඟ සලකුණු සොයායෑමට ඔහුට අවශ්‍ය නොවූ බැවිනි.   

තම ස්වාමියාගේ මරණය දැනගත් වෘක ධේනුව තම ශෝකය සිසිල්වන සැඳෑ වාතයට මුසු කළා ය. 

තම උපරිම උත්සාහය තිබියදීත් හිරු දැන් ක්ෂිතජයෙන් සැඟව යමින් තිබිණි. දඩයක්කාරයා නැවත කඳවුරට එන්නට ප්‍රථම කළුවර බෝ විය. ම්වුබූ ගේ අප්‍රාණික සිරුර ඔසවාගෙන යාම සිතුවාට වඩා වෙහෙසකර කාර්යයක් වූ බැවින් ඔහුට නිතරම නතර වී යාමට සිදුවිය. මෘතදේහය අතහැර යාමට සිතුණද තමා දරුණු අනතුරකට මුහුණ නොපා එසේ කිරීම සමාජ සම්මුතිය අනුව තහනම් දෙයක් බැව් ඔහු දැන සිටියේ ය. ඉන් ඔහුට බොහෝ ගෞරවය අහිමි වනු ඇත්තේ ය. වෘකයා මැරීම සම්බන්ධයෙන් ඔහුට ලැබිය යුතු ප්‍රශංසාව ඉන් අවලංගු වී යනු ඇත්තේ ය. එබැවින් ඔහු අධිෂ්ඨානශීලීව ගමන් කළේ ය.   
හිරු බැසයද්දී භූමියේ සියළු වර්ණ වියැකී ගියේ අඳුරු සෙවණැලි පමණක් ඉතිරි කරමිනි. වියැකී යන ආලෝකයෙන් තවමත් ඔහුට හුරුපුරුදු මඟ සලකුණු හඳුනාගත හැකි හෙයින් වැඩි දුරක් යාමට නොමැති බව ඔහු වටහා ගත්තේය. පැහැදිලි භූමියට පිවිසි පසු ගිණි මැළයේ එළිය හඹා යාම අපහසු නොවන බව ඔහු දැන සිටියේය. එය නොපෙණුනහොත් මඟපෙන්වීම සඳහා තරු පායන තෙක් බලා සිටිය හැකි බව දඩයක්කාරායාගේ නුවණට වැටහිණි. එය සිදුවූ පරිද්දෙන් ඒ ද්විත්වයම අවශ්‍ය නොවී ය. පැහැදිලි භූමියට ඔහු පැමිණි විට සීතල රාත්‍රී වාතය ගෙන යන සංවාදවල සිහින් හඬ ඔහුට ඇසුණේ ය. 

එක් අවසන් විරාමයකින් පසු දඩයක්කාරයා කන්දේ අඳුරු පැත්තකින් කඳවුර වෙත නගින්නට පටන් ගත්තේ ය. කඳවුරට ආසන්න වන විට නැගුණ මස් පිළිස්සෙන සුවඳින් ඔහුගේ කටට කෙළ ගංගාවක් ඉනුවේය. තමා කෙතරම් කුසගින්නකින් සිටියේදැයි දඩයක්කාරයාට වැටහුණේ එවිටය. එමෙන්ම කෙතරම් වෙහස වී සිටියේදැයි වැටහුණේ ද එවිට ය. අවසානයේදී කඳවුර වෙත පැමිණි ඔහු න්යංගා ගේ පැල්පත කරා ඇදුණේ ය. වෙදදුරා ට අවමංගල්‍ය චාරිත්‍ර සඳහා සූදානම්වීම ආරම්භ කරන්නට අවශ්‍ය වනු ඇත්තේ ය. ඔහු කඳවුර මැද පිහිටි ගිනි මැලය සහ එය වටා වූ පිරිස මඟහරිමින් වටරවුම් මාර්ගයක් තෝරාගත්තේ ය. ම්වුබූ ගේ දේහය ඔවුන් දුටුවහොත් තමා වෘකයා මරා දැමුවා යන කාරණයට වඩා එයට අවධානය යොමුවන ඇතැයි ඔහු සිතුවේ ය.    

දඩයක්කාරයා වෙදදුරාගේ පැල්පතට ළඟාවන විට වෘකයා සපාකෑමෙන් තුවාල ලත් තරුණිය නින්දේ පසු වූ අතර වෙදදුරා ඇගේ තුවාලයේ බෙහෙත් මාරු කරමින් සිටියේ ය. ඔහු දරදඬු වෙමින් තිබූ ම්වුබූ ගේ ශරීරය බිම දැමූ පසු වෙදදුරා වචනයකදු නොපවසා හස්ත සංඥාවකින් ඔහුව පිටකළේ ය. වෘකයාට ජල භීතිකාව නැති බව පවසන්නට අවස්ථාවක් දඩයක්කාරයාට නොලැබුණේ ය. ඔහු උරහිස් ගස්සා පැල්පතින් පිටවූයේ තමන්ගේ පළිහ සහ ලේ වැකි හෙල්ල රැගෙන යාමට වගබලාගැනීමෙනි. 

තප්පරයක් නැවතී වඩා නිවැරදි ක්‍රියාමාර්ගය කුමක්දැයි තීරණය කළ ඔහු න්යාති ගේ පැල්පත දෙසට පියනැගුවේ ම්වුබූ ගේ මරණය පිළිබඳව දැනුම් දීමට ය. දඩයක්කාරයා කිසිදිනෙක මේ වැඩිහිටියාගේ පැල්පත තුළට පිවිස නැත්තේ ඒ සඳහා ඔහු තත්වයෙන් බොහෝ පහත් වීම නිසාවෙනි. එළිමහනේ සිටගත් ඔහු නායකයාට ආචාර කළේ ය. ඇතුළත සංවාදය වාක්‍යයක් මැද නතර වී න්යාති ඔහුට ඇතුළු වීමට අවසර දෙන හඬ ඔහුට ඇසුණේ ය. එළිපත්ත පසුකර ගිය ඔහු රවා බලමින් සිටින සුංගු දැක වහාම අප්‍රසාදයට පත්වූයේ ය. වෘක ප්‍රහාරයකින් සිදුවූ ම්වුබූ ගේ මරණය වාර්ථා කරන විට ශෝකයේ ඉඟියක් සමඟ අංග ලක්ෂණ මධ්‍යස්ථව තබා ගත්තේ ය. 

දඩයක්කාරයා ම්වුබූ ගේ මරණයට ඔහුගේ වගකීම සඟවමින් කතාව ප්‍රෙව්ශමෙන් සකස් කරමින් සිද්ධිය විස්තර කළේ ය. ඔහු හිතාමතාම ම්වුබූ වෙත සිදුවූ පහරදීම ගැන ඔහුගේ ප්‍රකාශය නාභිගත කළේ ය. ඉන්පසු න්යාති වෘකයා ගැන විමසූ විට - තමන්ට අතපසු වූ අයුරින් - අත පය ඔහේ වනමින් ඌ මරා දැමූ බව පවසා සිටියේය. වයසක මිනිසා වෘකයාට ජල භීතිකාව තිබුණේ දැයි විමසූ විට දඩයක්කාරයා මඳකට නැවතුනේ සමස්ත කතන්දරයම මනසින් කිහිපවරක් පෙරහුරු නොකළාක් මෙනි. ඔහු සත්‍යය පැවසුවේ ය. එය ජල භීතිකාව නොවුණ ද වෘක දෙන එසේ හැසිරුණේ අලුත උපන් පැටවුන්ගේ ආරක්ෂාවට බව ඔහු පවසා සිටියේ ය. වෘකයාව මරා දැමීමේ නිර්භීතකම සහ ම්වුබූ ගේ දේහය ගෙන ඒමෙන් රාජකාරිය පිළිබඳ දැක්වූ සැලකිල්ල න්යාති අගය කළේ ය. ඉන්පසු වයසක මිනිසා කෑමට යමක් ලබාගන්නා ලෙස ඔහුට අවවාද කර පිටව යාමට අවසර දුන්නේ ය. සුංගු නිහඬවම සිටියේ ය. 

දඩයක්කාරයා පිටත්වූ පසු, ඔහු පිටව යන පා හඬට සවන් දී සිටි සුංගු, ම්වුබූ ගේ මරණය සිදුවූ ස්ථානයට යාම සඳහා න්යාතිගෙන් අවසර ඉල්ලා සිටියේ ය. චාරිත්‍රානුකූලව මියගිය පුද්ගලයාගේ දේහය සමඟ ඔහුගේ හෙල්ල සහ පළිහ භූමදානය කළ යුතු බැවින් ඒවා රැගෙන ඒමට ඔහු බලාපොරොත්තු වූයේ ය. න්යාතිගේ රැළි වැටුණු මුහුණේ සිනහවක් නැගුණ අතර ඔහු තම උරුමකරුගේ යුතුකම පිළිබඳ හැගීම අගය කළේ ය. කෙසේ වුවද ඒවා වැඩිහිටියන්ගේ යුතුකම් බව ඔහු කියා සිටියේය. දුර පිළිබඳ සංගු ගේ විරෝධය නොතකා ඔහුව නිහඬ කිරීමට න්යාති මෘදු ලෙස තම අත එසැවූයේ ය. වයස තවමත් තමන්ගේ ශක්තිය අවසන් කර නොමැති බව ඔහු සුංගුට සහතික කළේ ය. කාරණය අවසන් බව දැනගත් සුංගු තවදුරටත් බලපෑම් නොකර න්යාතිට ඔවුන්ව වෙනත් තැනකට කැඳවාගෙන යාමට ඉඩ දුන්නේ ය. 

කඳවුරේ අනෙක් පසෙහි ගිනි මැළය අසල දි සිදුවූයේ කුමක්දැයි දැනගැනීම සඳහා බලා සිටි පිරිස දඩයක්කාරයාව වටකර ගත්තේ ය. කතාව කීමට ඔහු සතුටින් බැඳී සිටියේ ම්වුබූ ගැන සුදුසු තරමින් ශෝකී බවක් මවාගත්තේය. එදින මැදියම් රැයේ ගිනි මැළය ගිනි අඟුරු දක්වා නිවී යන තුරු ඔහු එම කතාවේ සාන්තුවර අනුවාදනයක් වරින් වර පවසා තමන්ගේ වීරත්වය - අඩු තරමින් තම සගයන් අතර තහවුරු කර ගත්තේ ය. දඩයක්කාරයා එදින රාත්‍රියේ නින්දට ගියේ සෑහීමට පත් සිනාවක් මුවේ රඳවාගෙන, සවස් යාමයේ ත්‍රාසය නැවතත් තම මනසින් විඳිමිනි. 

පසුදින පළමු හිරු කිරණ වැටෙද්දි ම්වුබූ මියගිය ස්ථානය කරා න්යාති ගමන් ඇරඹුවේ ය. තරුණිය පෙන්වූ දිශාව ඔහුට තවමත් මැනවින් මතක ය. තමාට ඉතා පහසුවෙන් එතැනට ළඟාවී දැනටමත් කැරකෙමින් තිබෙන කුණාටුවට පෙර යළි පැමිණිය හැකි බව ඔහු විශ්වාස කළේ ය.   

ම්වුබූ මියගිය ස්ථානය සොයාගැනීමට න්යාති ට කිසිදු කරදරයක් නොවීය. තුරු වදුල අසලට පැමිණි විට ඔහුට දඩයක්කාරයාගේ සලකුණු දැකගත හැකි විය. බිම වැතිරී තිබූ වෘක මළකුණ වහාම ඔහුගේ නෙත ගැටිණ. එහි පැත්තක තිබූ පැහැදිලි තුවාලය මත මැස්සන් පොදියක් දැවටෙමින් සිටියහ. න්යාති ඉක්මනින් ම්වුබූ ගේ හෙල්ල සහ පළිහ සොයාගත්තේ ය. එහි දර්ශනය වූ යමක් ඔහුගේ අවධානය දිනාගනිද්දී ඔහු සිටියේ පිටව යාමට සූදානමෙනි. ඔහු එම ප්‍රදේශය වඩා සමීපව නිරීක්ෂණය කළේ ය. ඔහුව නැවැත්වූයේ කුමක්දැයි ඔහුට නිච්චියක් නොවී ය. 

ඔහු ම්වුබූ ගේ හෙල්ලය භාවිත කරමින් දඩයක්කාරයා විසින් සිදුකළ අනෙක් තුවාල නැරඹීමට වෘකයාගේ මලකුණ උඩ අතට හැරවූයේ ය. සත්වයාගේ ලේ වැගිරුණු සමෙහි ඔහුට එවැන්නක් සොයාගත නොහැකි විය. ඔහු තවත් සමීපව බලා ඉර දෙසට හැරුණු තුවාලය හැරුණු විට වෙනත් කිසිදු තුවාලයක් නැති බවට සෑහීමකට පත්වූයේ ය. එක් පැහැදිලි තුවාලයක් පමණි. වාසනාවේ, දක්ෂතාවයේ හෝ නිශ්චල ඉලක්කයක ප්‍රතිඵලයකි. 
සිදුවූයේ කුමක්දැයි කියා පොළවෙහි වූ කතන්දරය කියවා ගැනීමට උත්සාහ කරමින් හේ බිමට නැමුණේ ය. තමා නොසැලකිලිමත් ලෙස අඩි සලකුණු පාගා දැමීම ගැන ඔහු තමන්ටම දොස් කියාගත්තේ ය. වාසනාවට ඔහුට සාධාරණ අනුමානයක් කිරීමට තරම් ප්‍රමාණවත් සලකුණු ඉතිරිව තිබිණි. ම්වුබූ ගේ ආයුධ බිම වැටී තිබූ ස්ථානය නැවත මතක් කරමින් ම්වූබු ට පිටුපසින් වූ ගොමුවෙහි සිට වෘකයා ඔහු වෙත කඩා පැන පහරදුන් ස්ථානය හඳුනා ගැනීමට ඔහු සමත් වූයේ ය. 
 

හෙල්ලය වැටී තිබූ ආකාරය ඉන් පැහැදිලි කළ අතර ඔහු තමන්ට හැකි අයුරින් හෙල්ලය තිබිය යුතු මුල් ස්ථානයෙහි ස්ථානගත කළේ ය.  

දැන් සම්පූර්ණයෙන්ම එහි ගිලී සිටින න්යාති ම්වුබූ ගේ උදව්වට වේගයෙන් දිව ආ මිනිස් සලකුණු - දඩයක්කාරයාගේ අඩි සලකුණු - සොයා ප්‍රෙද්ශය ප්‍රෙව්ශමෙන් පීරා බැලුවේ ය. ඔහුට කිසිවක් හමු නොවිණි. ඔහු වෙනත් අඩි සලකුණක් උත්සාහ කළේ ය. තවමත් ඔසවාගෙන සිටි පළිහ ඔහු තමන්ට එය හමුවූ ස්ථානය යැයි සිතිය හැකි සුදුසුම ස්ථානයෙහි තැබුවේ ය. ම්වුබූ අතින් ගිලිහුණ හෙල්ල මෙන් නොව පළිහේ තිබූ හම් පටි නිසා ඔහු එය තම අතෙහි රඳවා ගන්නට සමත් වන්නට ඇති බව ඔහු අනුමාන කළේ ය. පළිහ මාර්ගෝපදේශකයක් ලෙස භාවිත කරමින් ම්වුබූ සටන් කරමින් සිටි ඉරියව්ව මවාගැනීමට න්යාති උත්සාහ කළේ ය. සත්වයා පළවා හැරීම සඳහා සටන් කරද්දි බිම වැටුණු පළිහේ දාරයේ ඇති ලේ පැල්ලම් ම්වුබූ ගේ ඒවා බව ඔහු සිතුවේ ය. වෘකයාගේ හකුවල සහ බිම තිබූ විශාල ලේ ප්‍රමාණය අනුව සත්වයා ම්වුබූ ගේ බෙල්ලෙන්ම අල්ලා ඇති බව න්යාති විනිශ්චය කළේ ය. ඔහු අන්ත අසරණ වන්නට ඇත.   
උගුරේ යමක් සිරවූ බවක් දැනුණු න්යාති තම මනසේ කුතුහලය විසින් මෙහෙයවනු ලැබීමෙන් හෙල්ල සහ පළිහ ගෙන ගොමුව දෙස බැල්මකදු යොමු නොකර පිටව ආවේ ය. මරණයේ බර තම පපුව මත තද වනු ඔහුට දැනිණි.  

න්යාති යළි කඳවුරට පැමිණෙන විට ඉහළ ආකාශයෙහි අඳුරු වලාකුළු පොදි ගැසෙමින් තිබිණි. සුළඟ දුවිල්ල සමඟ වැඩිවන කුණාටුවෙහි තියුණු සුවඳ රැගෙන ආවේ ය. ඔහු කෙළින්ම වෙදදුරාගේ පැල්පත දෙසට ගියේ මියගිය සගයාගේ හෙල්ල සහ පළිහ ලබාදීමට ය. පැල්පත තුළදී, ම්වුබූ ගේ දරදඬු වූ සිරුර කෙළින් කිරීමට වෙදදුරා දැඩි සටනක් කරනු ඔහු දුටුවේ ය. ම්වුබූ ගේ විකෘති වූ ගෙල සහ තවමත් විවෘතව ඇති දෑස් දෙස බැලීමට සූදානම් නොවූ න්යාති ගේ හුස්ම හිරවිය. එයට සම්මුඛ වීමට ඔහුට කෙතරම් වතාවක් බලපෑම් කළද න්යාති තවමත් විටෙක මරණයේ අවතාරයට ගොදුරු වූයේ ය. 

න්යාතිගෙන් හෙල්ල සහ පළිහ ගත් න්යංගා ඔහු සමඟ ම්වුබූ ගැන අනුකම්පා කළේ ය. ම්වුබූ ගේ තුවාල ඉතා දරුණු විය. ඔහුගේ මැණික් කටුවලට -පමණක් - සිදුව ඇති හානියෙන් ජීවත් වීමට හැකියාවක් තිබුණද ඔහු නිසැකවම ඕනෑම අවස්ථාවක ජල භීතිකාවට ගොදුරු වනු ඇති බව වෙදදුරා විනිශ්චය කළේ ය. එහෙත් අවසානයේදී මෙය කාරුණික මරණයක් බව ඔහු සිතුවේ ය. වෘකයාට ජල භීතිකාව වැලඳී නොමැති යන ප්‍රවෘත්තිය තවමත් ඔහු අසා නැති බව වටහාගත් න්යාති ඔහුව නිවැරදි කරන්නට සිතු මොහොතේ සිතුවිල්ලක් ඔහුව නිහඬ කළේ ය.  
 

මැණික් කටුවෙහි තුවාලය. මැණික් කටුවට. මැණික් කටුව. ප්‍රාහරක විලෝපිකයෙක් ගෙලෙහි ග්‍රහණය අතහැර මැණික් කටුව අල්ලා ගන්නේ ඇයි? එසේ විය නොහැකි බව ඔහු සිතුවේ ය. හදිසියේම න්යාති ගේ මනසට විස්තර පැමිණෙන්නට පටන් ගත්තේ ය. දඩයක්කාරයා ම්වුබූ වෙත දිව එන අඩි සලකුණු සොයාගන්නට ඔහුට නොහැකි වූයේ මන්දැයි ඔහුට වැටහිණි. තරුණයා දිව විත් නැත. තරුණයාට සතා මෙතරම් පිළිවෙලට මරා දමන්නට හැකි වූ ආකාරයත්, උගේ යටි බඩ ම්වුබූ ගේ ලේ වලින් වැසී තිබුණේ මක්නිසාදැයි ත් ඔහුට වැටහිණි. වෘකයා මැරී වැටෙන විටත් රුධිරය බිම තිබිණි. තරුණයා වෘකයාව මරාදමන විටත් ම්වුබූ දෙවරක් තුවාල ලබා ලේ ගලමින් සිට තිබිණි. ඔහු කියූ කතාන්දරය එය නොවේ ය. 

සාධාරණ කෝපයක් න්යාතිගේ පපුවට දැනිණි. කොලුවා මුසා දෙසා ඇත්තේ ය. ඔහුගේ බියගුලුකම වසාගැනීමට දක්ෂ ලෙස බොරු ගොතා පවසා ඇති බවට සැකයක් නැත. එවැනි භයානක අනතුරක් හමුවේ ගල්ගැසී සිටීම කොලුවාගේ වරදක් ලෙස න්යාති නොදුටුවද මේ ආකාරයෙන් වැඩිහිටියන්ට බොරුකීම අනුමත කළ නොහැකි ය. තම ගෝත්‍රිකයෙකු ගේ මරණයකට මෙතරම් අගෞරව කිරීම! මෙම ගැටලුව ගැන ඉක්මනින් ක්‍රියා කළ යුතු ය. න්යාති වචනයකදු නොදොඩාම වෙදදුරාගේ පැල්පතින් නික්මුණේ ය.    

ඔහු කෙළින්ම ඔහුගේ පැල්පත වෙතට යන අතරවාරයේ තමා පසුකර ගිය දරුවෙකු ව නැවැත්වූයේ ය. සුංගුව හොයාගෙන තමා ඔහුව කැඳවූ බව පවසන ලෙස ඔහු දරුවාට උපදෙස් දුන්නේ ය. මහලු මිනිසාගේ හඬෙහි වූ තියුණු බව නිසා දරුවා පැනයක් නොනගාම ඊට එකඟ විය. 

කුණාටුව ළංවන විට ගිගිරුම් හඬ වැඩි වැඩියෙන් ඇසෙන්නට විය. සන්ධ්‍යාව වන විට වැස්ස ඇද හැලෙනු ඇති බව න්යාති විනිශ්චය කළේ ය. සුංගු පැමිණෙන විට න්යාති එක දිගට දොඩවමින් මනස් දෙකක් අතර අතරමංව සිටියේ ය. එක් මනසක වූයේ කොලුවා ලාබාල යන්නය. යෞවනයන් ආත්මාර්ථකාමී වී තම ප්‍රතිරූපය ආරක්ෂා කරගැනීමට උත්සාහ කිරීම අපේක්ෂා කළ නොහැකිද? අනෙක් අතට ඔහුගේ දෙබිඩි පිළිවෙත පරීක්ෂා නොවුණහොත් තරුණයා ඉගෙන ගන්නා පාඩම කුමක්ද? මරණය පිළිබඳ සැබෑ තතු සියළුදෙනාම දැනගැනීම ගමේ චිත්ත ධෛර්යයට කළ හැකි බලපෑමද සලකා බැලිය යුතු ය. ගැටලුව දෙස බැලීමට දෙවැනි ඇසක් තිබීම ගැන න්යාති සතුටු වූයේ ය. 

ම්වුබූ මියගිය ස්ථානයෙන් සහ ඔහුගේ තුවාලවලින් හඳුනාගත් දේවල් පිළිබඳව න්යාති සුංගු වෙත සැළ කළ විටදී ඔහු මඳ වේලාවක් නිහඬව සිටියේය. පිටත අඳුරු අහස් කුසෙන් පළමු විශාල වැහි බිඳු බිමට වැටෙන්නට පටන් ගත්තේ ය. පොද වැස්ස ඉක්මනින්ම මහා වර්ෂාවක් බවට පත්විය. සුංගු කතාකරන විට වැස්සේ හඬ යටපත් කරමින් ඔහුට උස් හඬින් කතාකිරීමට සිදුවිය. තරුණයාගේ පළමු සැබෑ දඩයම දවසේ ඇන්ටිලෝපයා සමඟ සිදුවූ සිදුවීම ගැන ඔහු න්‍යාතිට පැවසුවේ ය. ඒ මොහොතෙහි කොලුවාගේ හැසිරීමේ අමුත්තක් ඔහුට දකින්නට ලැබුණද ඔහු එය බැහැර කළේ ය. පසුව තරුණයා තම පළිහේ හෝ ශරීරයේ ලේ බිඳුවක් වත් නොමැතිව ම්වුබූ ගේ මරණය ගැන දැනුම් දීමට පැමිණි අවස්ථවේද එය අමුත්තක් ලෙස දැනුණද ඔහු එය බැහැර කළ බව සුංගු පාපොච්චාරණය කළේ ය.  

න්යාති ගේ සොයාගැනීම් හමුවේ තරුණයාගේ හැසිරීම තවදුරටත් බැහැර කළ නොහැකි බව සුංගු පැවසුවේ ය. දෙදෙනා පැය ගණනක් අඳුරේ ගැටලුව ගැන සාකච්ඡා කළ අතර මඳකට හෝ නැවතුනේ මහත පන්දම දැල්වීම සඳහා පමණි. දිගු සාකච්ඡාවකින් පසුව තරුණයා හැසිරවීම සඳහා තාවකාලික සැලැස්මකට එකඟ වූහ. පසුදින ම්වුබූ ගේ දේහය මුතුන් මිත්තන් වෙත භාරදීමෙන් පසුව ඒ පිළිබඳව ඔවුන් ආමන්ත්‍රණය කරනු ඇත්තේ ය.  

දෙදෙනාටම තම උරහිස් මත රැඳී ඇති බර දැනුණි. එකිනෙකාට සුබ රාත්‍රියක් පතා ගත් පසු සුංගු පිටව ගියේ ය. පිටත කුණාටුව තවමත් එලෙසින්ම පැවතිණි. එළිපත්ත මත නැවතුන සුංගු තම දෑස් අඳුරට හුරුවීමට ඉඩ හැර යාබද පැල්පත්වල මඳ එළිය සහ අකුණු සැර වල එළියෙන් තම පැල්පත වෙත යන පාර සොයාගත්තේ ය. මෙලෙස ඔහුගේ අවධානය වෙනතකට යොමුවූ බැවින් න්යාති ගේ පැල්පත ඉදිරිපිට සිට ඔහු පසුපසින් පැමිණි ඉක්මනින් අතුරුදහන් වූ අඩි සලකුණු යුගලය ඔහු දුටුවේ නැත.   

අවිනිශ්චිත බව නිසා වේගයෙන් ගැහුණ හදවතින් යුතුව දඩයක්කාරයා ගැඹුරු හුස්ම කිහිපයක් ගෙන ඔහුගේ පැල්පත වෙත ඇදුණේ ඔහුගේ වාසනාවට කෘතඥ වෙමිනි. ඔහු - උවමනාවක් මත- ම්වුබූ ගේ හෙල්ල සහ පළිහ රැගෙන ඒමට හැකි බව දැන්වීමට න්යාති වෙත නොගියේ නම් ඔහුට දෙදෙනාගේ සංවාදය ඇසෙන්නේ නැත. සංවාදයෙන් බොහෝ කොටසක් මඟහැරී ඇති බව ඔහු අනුමාන කළ ද තමන්ට ඇසුණු ප්‍රමාණය ඉක්මනින් ක්‍රියාත්මක විය යුතු බව වටහාගැනීමට තරම් ප්‍රමාණවත් විය. මෙම පුවත කඳවුරේ අන් අය දැනගතහොත් ඔහු නීචයෙකු වනු ඇත්තේ ය. ඔහුට සිතන්නට යමක් තිබිණි. 

ගිගුරුම් සහිත වැස්ස රාත්‍රිය පුරාම පැවතිය මුත් උදෑසන වන විට එය පොද වැස්සක් බවට දුර්වල වී ගියේය. නැග එන හිරු කඳුගැටයේ පිහිටි කුඩා ගම්මානයට මහා ශෝකයක් සහ ඛේදාන්තයක් රැගෙන ආවේ ය. එදින පාන්දර ගඟ වෙත ගිය යෞවනියන් පිරිසකට සුංගු ගේ මළ සිරුර හමුවූ අතර පෙනුන අයුරින් ඔහු ලිස්සා ගොස් නෙරා තිබූ තියුණු ගලක හිස වැදී ඇත්තේය. 

භීතියට පත් එක් ගැහැනු ළමයෙක් න්යාති ගේ පැල්පතට දිව ගියේ මරණය වාර්ථා කිරීමට වුවද පිටත සිට ආචාර කළ ඇයට ඔහුගෙන් ඇමතුමක් ලැබුණේ නැති. තමන්ට ඇතුළට යාමට අවසරයක් නැති බව දැනගත් තරුණිය වෙදදුරා ට දැන්වීමට දිව ගියා ය. සුංගුව පරීක්ෂා කිරීමට ගිය ඔහු සුංගු මියගොස් ඇති බව තීරණය කළේ ය. ගැහැනු ළමුන්ව පිටත් කළ න්යංගා සුංගුගේ දේහය ඔහුගේ පැල්පතට ගෙනයාමට සුංගුගේ සගයෙකුට නියම කළේ ය. ඉන්පසුව ගමේ මෑතකාලීන අවාසනාවන්ත ඉරණම ගැන වාර්ථා කිරීමට න්යාති ගේ පැල්පතට ගියේ ය. එම කාර්යයට ඔහු බිය වූයේ ය. මහලු මිනිසා සුංගු ට කෙතරම් ආදරය කළේ දැයි ඔහු දැන සිටියේ ය. මහලු මිනිසා විනාශ වනු ඇත්තේ ය. 

ඔහුගේ ආචාරයට පිළිතුරු දීමට න්යාති අසමත් වූ විට ඔහුව අවදි කිරීම සඳහා වෙදදුරා ඇතුළට පිවිසියේ ය. පිවිසුම් දොරටුවට පිටුපස හරවාගෙන මහලු මිනිසා ඔහුගේ පැදුරේ වැතිර සිටියේ ය. ‍වෙදදුරා යළිත් උස් හඬින් ඇමතුවද න්යාති ගෙන් ප්‍රතිචාරයක් ලැබුණේ නැත. අමුත්තකි. යමක් ඉව වැටුණ අයුරින් න්යාතිව සොලවා අවදි කිරීම සඳහා වෙදදුරා ඔහුට සමීප වූයේ ය. ඔහු න්යාතිගේ උරහිසෙන් අල්ලා ගත්තේ ය. එහ සීතල වී තිබිණි. වෙදදුරා ඔහුව හරවා හදවතේ හඬ ඇසේදැයි බැලුවේ ය. නිහඬය, නිශ්චල ය. පෙනෙන හැටියට නායක න්ඩ්වුනා නින්දේදී ම අවසන් ගමන් ගොස් ඇත්තේ ය.  

It is loading more messages.
0 new messages