‘මම ලියන හැටි’ සිංහල නවකතාකරුවන්ගේ ලිවීම පිලිබඳ භාවිතයන්.... (BBC සිංහල සේවය අනුග්‍රහයෙන්)

8 views
Skip to first unread message

Nissanka Rajapaksa

unread,
Oct 6, 2023, 9:38:35 PM10/6/23
to INDRAKA group
කෞශල්‍ය කුමාරසිංහ විසින් මෙහෙයවන මේ සාකච්ඡා මාලාවට මේ ත්‍රෙඩ් එක වෙන් කරනවා. මීට අදාල ඔබේ ප්‍රතිචාරත් මේ ත්‍රෙඩ් එකේම සටහන් කරන්නැයි මා යෝජනා කරනවා.
නිශ්ශංක

----------------------------------------------------------------
‘මම ලියන හැටි’ සාකච්ඡා මාලාව මං පටන් ගත්තෙ බීබීසී සිංහල වෙබ් අඩවියෙන්  කරපු යෝජනාවක් එක්ක. මේකෙදි අපි අපේක්ෂා කලේ සිංහල නවකතාකරුවන්ගේ ලිවීම පිලිබඳ භාවිතයන්, තාක්ෂනයන් හා ඒත් එක්ක බැඳුනු හැඟීම් අවදානයට අරන් එන්න. මුරකමි, කොයියෝ,  අයියන්දේ, කුන්දේරා ලියන හැටි ගැන සාහිත්‍යයක් ලෝකෙ තිබුනට සුනේත්‍රා රාජකරුණානායක හරි ලියනගේ අමරකීර්ති හරි එරික් ඉලයප්ආරච්චි හරි ලියන හැටි ගැන එහෙම එකක් නැහැ. සාහිත්‍ය කර්මාන්තයේ සහ සාහිත්‍ය සංස්කෘතියේ බොහෝ සීමාකම් මැද වුවත් සිංහල නවකතාකරුවන් සැලකිය යුතු දුරක් ඇවිත් තියනවා. එඩිටර්ස්ල නැති ප්‍රකාශන සමාගම්, පොතකට රිවිව් එකක් කරන්න නොදන්නා මාධ්‍ය, සාහිත්‍ය විචාර හැර අන් සියලු දේ කරන සාහිත්‍ය විචාරකයන්, මාර්ටින් වික්‍රමසිංහගෙන් පසු සාහිත්‍ය ගැන නොදන්නා සාහිත්‍ය විනිශ්චය මන්ඩල ආදිය බහුල තත්වයක නවකතාකරුවෙකු ලෙස පැවතීම යනු අභියෝගාත්මක දෙයක්. සමාජ මාධ්‍ය වල වර්ධනය මේ තත්වයට යම්කිසි සහනයක් ගෙනත් තිබෙන බව නම් ඇත්තක්. 

සිංහල නවකතාකරුවන් ලියන මොහොතේ පවතින අකාරය ගැන උනන්දු වන මේ සංවාද මාලාවට මේ වනවිට නෝබට් අයගමගේ, සුරත් ද මෙල් සහ කත්‍යානා අමරසිංහ සම්බන්ධ වෙලා තියනවා. ඊලඟ සතියේ මුණගැහෙන්නෙ මංජුල වෙඩිවර්ධන. ඒ වගේම තවත් බොහෝ අය හමුවීමට නියමිතව තියනවා. ලේඛකයන් තීරණය කිරීම සිදුවෙන්නෙ මමත් බීබීසී එකත් අතර කතාබහකින්. සමහර ලේඛකයන්ගෙ නවකතා වලට මම අකමැති වුනත් ඔවුන් නවකතාකරුවන් වීම කියන කාරනය නිසා මම ඔවුන්ට කැමතියි. ‘මම ලියන හැටි’ ගැන මේ වන විට ලිවීමට උනන්දු බොහෝ අයගෙන් අපට ලැබෙන ප්‍රතිචාර මේ වැඩේ දිගටම කරගෙන යාමට ධෛර්යය සපයනවා. පුද්ගලිකව මට නම් මේ නවකතාකරුවන් හා කාරියන් සමග කරන කතාබහ අතිශය ආස්වාදනීය වගේම ලිවීමට ඇති ආශාව තවත් වඩවන එකක්. 

කෞශල්‍ය කුමාරසිංහ

1. 'මම ලියන හැටි':නෝබට් අයගමගේ 

වැඩිපුරම මං ලියන්නෙ කාමරේ මගෙ ලියන මේසෙ. ඒක එහෙම ගම්භීර තැනක් නං නෙමේ. ලියන්න පටන් ගන්නේ  පාන්දර. ඒ නිශ්ශබ්ද නිසා ම නෙමේ. මට ලිවීමෙදි  නිශ්ශබ්දතාවය විතරක් නෙමේ සද්දබද්දත් ඕනෙ.


  • 22 සැප්තැම්බර් 2023

නෝබට් අයගමගේ යනු තම පළමු නවකතාවෙන් ම ජනාදරයට සහ සම්මානයට පාත්‍ර වූ සාහිත්‍යකරුවෙකි.

'කාල නදී ගලා බසී' නවකතාවෙන් පටන්ගෙන 'සුර අසුර යාමය' හරහා මෑතක දී පළ වන 'කුර හඬකි වියැකෙන' නවකතාව දක්වා වූ ඔහුගේ නවකතාකරණය අපේ අතීත ජන ජීවිතය යළි නිපදවීමට දරන සෞන්දර්යාත්මක වෑයමක් වැනිය.

ගුවන් විදුලි විශේෂාංග රචකයෙකු ලෙස කාලාන්තරයක් තිස්සේ ගොඩනගාගත් දැනුම තම ජීවින අත්දැකීම් හා කැටිවී ඔහු අතින් සිය පළමු නවකතාව ලියවෙන්නේ 2012 වසරේදී ය.එතැන් පටන් නවකතාකරුවෙකු ලෙස ඔහු ලේඛනයේ යෙදෙන විට ඔහුට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුණු ඔහුට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් මම ඔහු සමග කතාබහක යෙදුණෙමි.

මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති 'නිම්නාගේ ඉතිහාසය' (2019) සහ 'මේ රහස් කවුලුවෙන් එබෙන්න' (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය.

හැම ලේඛකයෙක් ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේ ම වූ ආකාරයකට ය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන විට බොන කෝපි කෝප්ප ගණන, ලිවීම තමන් ම විඳින හැටි වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය. අද සිට ඇරඹෙන මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය.

කෞශල්‍ය : මං කැමතියි පළවෙනි වාක්‍යයෙන් පටන් ගන්න.ඔබට කියන්න පුලුවන් ද නවකතාවක පළවෙනි වාක්‍යය ලියවුණ හැටි ගැන.ඔබේ නවකතා වල අපි දකින පළමු වාක්‍යයම ද ඔබ මුලින්ම ලිව්වෙ. නැත්තං ඒවා පස්සෙ වෙනස් වුණා ද?

නෝබට්: නෑ. ඒවා තමයි මුලින්ම ලිව්වෙ.ඉතාම සුළු වෙනස්කම් තමයි වුණේ.මම ලියන්න පටන්ගන්නෙ හොඳට සූදානම් වෙලා ලියන දේ සැලසුම් කරලා.ඒ නිසා ලියන්න පටන් ගත්ත ම මට එක දිගට ලියාගෙන යන්න පුලුවන් වෙහෙසක් හෝ හිරවීමක් නැතුව.ඒ දේවල් මගෙ අතින් සංස්කරණය වෙන්නේ හරි ම අඩුවෙන්.

කෞශල්‍ය : කොහොමද සැලසුම් කරන්නේ. ඔබ කටුසටහන් පාවිච්චි කරනව ද?

නෝබට්: මං කටුසටහන් තියාගන්නෙ නෑ. හැමදේම තියෙන්නෙ මගෙ හිතේ.මං කාලයක් තිස්සෙ ලියන්න යන දේ ගැන අධ්‍යයනය කරනවා සහ මෙනෙහි කරනවා.ඒ නිසා හැම චරිතයක් ම සිදුවීමක් ම ගැන මට හොඳ අවබෝධයක් තියනවා පටන් ගන්න කලින්. සමහර වෙලාවට චරිත වල කටහඬ වල් පවා තනියම අනුකරණය කරමින් තමයි මං ඒකත් එක්ක ඉන්නෙ.ඒවගේම සිදුවීම් සහ චරිත වලට අදාළ වචන මාලාව ගැනත් හොඳින් දැනුවත් වෙනවා.අනිත් එක නවකතාවක් සැලසුම් කරමින් ඉන්න කොට කඩේට ගියත් බස් එකක ගියත් වෙනත් පොතක් කියෙව්වත් හිතේ පැත්තක ඒක වැඩ කරනවා.කොයිම වෙලාවක වත් ඒකෙන් ගැලවෙන්නේ නැහැ.එතකොට ලියන්න පටන් ගත්ත ම පැය ගාණක් එක දිගට ලියාගෙන යන්න පුලුවන්.ඒ හින්ද මගෙ නවකතා වල පළමු වාක්‍ය හැටියට ඔබ දකින්නෙ ඒ විදිහට ලියන්න වාඩි වුනහම නිරායාසයෙන් ලියවුණු ඒවා.

කෞශල්‍ය :ඒ කියන්නෙ ඔබ කතාවෙ සැලැස්ම කොහෙවත් සටහන් නොකළට පළවෙනි වාක්‍යය ලියන කොට ඔබ දන්නවා ඔබ ලියන්න යන නවකතාවෙ දිග පළල?

නෝබට්: ඔව් ඇත්තෙන්ම මම ලියන්න යන නවකතාවෙ මුල මැද අග ගැන ඉතා හොඳ අවබෝධයකින් තමයි ලිවීම පටන් ගන්නෙ.මගෙ සැලැස්ම මම කොහෙවත් ලියන්නෙවත් කාටවත් කියනනෙවත් නෑ.ඒක දන්නෙ මං විතරයි.හැබැයි මම කටුසටහන් නොදැම්මට සමහර ඓතිහාසික සිද්ධි සහ පුද්ගලයන්ගේ නම් කොළයක ලියල තියාගන්නව මොකද එක දිගට ලියන කොට ඒව අමතක වෙන්න පුලුවන් නිසා.

කෞශල්‍ය : ඔබ නවකතාව මනසින් සැලසුම් කරමින් ඒ ගැන අධ්‍යයනය කරමින් ඉන්න විට මේක ලියන්න පටන් ගන්න වෙලාව ඔබ හොඳට හිතල තෝරගන්නවද නැත්තං එක මොහොතක දි ඔබටත් පාලනය කරගන්න බැරි විදිහට ඒක කරන්න සිද්ධ වෙනව ද?

නෝබට්: මං 'කාල නදී' ලියන්න පටන් ගත්තෙ 2012 නොවැම්බර් 18.මට ඒ දවස හොඳට මතක එදා මහින්ද ජනාධිපතිවරයගේ උපන්දිනය.ඒ වෙනකොට මගෙ බිරිඳ රැකියාව කළේ බැංකොක් වල ලංකාවෙ තායිලන්ත තානාපති කාර්යයාලේ. මමත් ඇයත් එක්ක එහෙ හිටියෙ.මතකනෙ මහින්ද මහත්තයගෙ උපන්දිනය දවසට ඒ කාලෙ ලංකාවෙ ඔය කාර්යයාල වල බෝධි පූජා එහෙම ලෑස්ති කරනවනෙ. එදා තානාපති කාර්යයාලයෙනුත් එහෙම ආගමික කටයුත්තක් සුදානං කරල තිබුණ නිසා ගෙදර හැමෝම ඒකට ගිහිං මං විතරයි හිටියෙ.මේ වෙනකොට 'කාල නදී' ගැන මං සෑහෙන්න වැඩ කරල තිබුණේ. මේකට විෂය වුණු පාරුකාරයින්ගේ ජීවිතය ගැන මං ඕනැවටත් වඩා දැනන් හිටිය. මොකද අපේ තාත්තගෙ තාත්තත් පාරු කාරයෙක් නිසා මං හැදුණේ වැඩුණේ මේ කතා අහගෙන. ඊට අමතරව මං මේ ගැන අධ්‍යයනය කරල කතාව හිතෙන් සැලසුම් කරල තිබුණේ.ඒ නිසා ඒක කොලයකට පනින්න මාන බලමින් හිතේ තෙරපෙමින් හිටි වෙලාවක තමයි ගෙදර කවුරුත් නැති මේ නිස්කලංක දවස ආවෙ.එදා මං පැය ගාණක් එක දිගට ලිව්වා.මේ කතාවේ සිදුවීම් කාලයක් තිස්සෙ මගෙ හිතේ තෙරපෙමින් තිබ්බ නිසා මේකත් එක්ක මට මහ පුදුම බන්ධනයක් තිබුණා.හරිම ඉක්මනින් පොත යි මම යි එකට හුස්ම ගන්න තත්වෙට පත් වුණා.ඒ හින්ද මාස හයක් යන්නත් කලින් මට මුළු නවකතාව ම ලියල අවසාන කරල ලංකාවට ත් එවන්න පුලුවන් වුණා පළ කරන්න.

කෞශල්‍ය : ඔබ මෙහෙම ලියාගෙන යද්දි සුළු චරිත හැටියට සැලසුම් කරන ඇතැම් චරිත ඔබ අපේක්ෂා නොකළ පරිදි ප්‍රබල චරිත බවට පත් වුණ අවස්ථා තියනව ද?

නෝබට්: ඇත්තටම ඔව්.මම කිසිසේත්ම බලවත් චරිත හැටියට සැලසුම් නොකළ චරිත මං නොහිතපු ආකාරයෙන් කතාව තුළ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන චරිත බවට පත්වුණ අවස්ථා තියනවා.අපි මොනතරන් සැලසුම් කළ ත් ලිවීමේ ක්‍රියාවලියේ දී මෙවැනි දේ සිද්ධ වෙනවා. නවකතාකරුවෙක් හැටියට ඔබට ත් මේ අත්දැකීම ඇති.මට තියන ආසන්න ම උදාහරණය මගේ 'කුරහඬෙකි' නවකතාවේ 'අංචිරාල' කියන චරිතය.ඔහු එතරම් නොවැදගත් සුළු චරිතයක් හැටියට මම සැලසුම් කර තිබුණ ත් පසුව කතාවේ විකාශනය තුළ ඔහු වැදගත් කාර්යභාරයක් ඉටු කළා.

කෞශල්‍ය : ඔබ මේ කියන්නෙ අපි මොනතරම් සැලසුම් කළ ත් ලිවීමේ ක්‍රියාවලිය තුළ අපි කලින් නොහිතපු අනපේක්ෂිත දේ සිද්ධ වෙන්න පුලුවන් කියන එක ද?

නෝබට්: ඔව්. නවකතා රචනය ගැන මොන නීති රීති තිබුණත් අපි මොනතරම් සැලසුම් කළ ත් ලිවීමේ ක්‍රියාවලිය ඇතුළේ එහෙම ගතිකයක් තියනවා.ඒක තමයි ඒකේ සුවිශේෂත්වය.

කෞශල්‍ය : ඔබ ලියන නිශ්චිත වෙලාවක් සහ තැනක් එහෙම තියනව ද?

නෝබට්: වැඩිපුරම මං ලියන්නෙ කාමරේ මගෙ ලියන මේසෙ.ඒක එහෙම ගම්භීර තැනක් නං නෙමේ. ලියන්න පටන් ගන්නේ පාන්දර.ඒ නිශ්ශබ්ද නිසා ම නෙමේ.මට ලිවීමේ දි නිශ්ශබ්දතාවය විතරක් නෙමේ සද්දබද්ද ත් ඕනෙ.පාන්දර පැය කීපයක් එක දිගට ලියනවා.ඉන් පස්සෙ දවසෙ සාමාන්‍ය වැඩ පල කරල ආයෙමත් හැන්දෑවෙ හයට විතර පටන් අරන් පැය කීපයක් ලියනවා.හැබැයි නවකතාවක් ලියමින් ඉන්න කාලෙදි සමහර වෙලාවට ලියන්න යමක් හිතේ තෙරපෙන්න ගත්තොත් පාන්දර එකට දෙකට වුණත් නැගිටල ඇවිත් ඒක ලියල ගිහින් ආයෙමත් නිදාගන්නවා.මොකද එහෙම එන ඒවා ඒ වෙලාවෙ ලිව්වෙ නැත්තං ආපහු එන්නෙ නැහැ.

කෞශල්‍ය: අවසාන වශයෙන් මට කියන්න ඔබ ලියන සමහර වාක්‍ය ඔබව ම පුදුමයට පත් කරනව ද? ලියන කොට දැනෙන සතුට ගැන යමක් කියන්න පුලුවන් ද ?

නෝබට්: හරියට ලියවෙනවා නේද ඡේදයක් හෝ පරිච්ඡේදයක්,ඒක ඉතින් කියල වැඩක් නෑ පුදුම සතුටක්.ඒ වෙලාවට ඒක නැවත නැවත කියවමින් කොම්බු පවා හදනවා.සමහර වෙලාවට හරි විස්මයක් දැනෙනවා සමහර යෙදුම් එහෙම ලියවුණා ම.ඒ වෙලාවට තව පරිච්ඡේද දෙක තුනක් වුණ ත් ඒ ගැම්මට එකදිගට ලියන් යන්න පුලුවන්.ලිවීමේ දි දැනෙන තෘප්තිය නං නිකං හරියට අති රමණීය රමණයක දි වගේ.

ලිවීමේ දී ලේඛකයෙකු අනුගමනය කරන වතාවත් එකිනෙකාගෙන් වෙනස් විය හැකි බව අපට තේරුම් ගත හැකි ය.

එහෙත් ලිවීමේ දී ලේඛකයෙකු අත්විඳින රමණීයත්වය එසේ වෙනස් විය හැකි ද?මට ද නවකතාකරුවෙකු ලෙස අයගමගේ මහතා විඳින ඒ රහස් සතුට ගැන ඉඟියක් ඇත.නමුත් මේ ගැන තවදුරටත් තේරුම් ගත හැකි වන්නේ මේ සංවාද මාලාවේ ඉදිරි මුණගැසීම් වලදී ය.

මේ කෙටි කතාබහ තුළ මා උත්සාහ කළේ නෝබට් අයගමගේ නම් නවකතාකරුවා ලිවීම තුළ පවතින ආකාරය දෙස ඉක්මන් බැල්මක් හෙළීමට ය.

Nissanka Rajapaksa

unread,
Oct 6, 2023, 9:52:05 PM10/6/23
to INDRAKA group

2. 'මම ලියන හැටි': සුරත් ද මැල්

Surath De mel

කෞශල්‍ය : මං කැමතියි මේ කතාබහ පටන් ගන්න ඔබේ නවකතා ආරම්භ වන පළවෙනි වාක්‍ය වලින්.ඒවා ඉතා ම සිත්ගන්නාසුළු ඒවා.අපි මේ කියවන පළමු වාක්‍ය ද ඔබ මේ නවකතා ලියන්න පටන් ගන්න කොට ලිව්වෙ?

සුරත් :අපෝ නැහැ.ඒ ලියපු පළවෙනි වාක්‍ය මොකද්ද කියල දැන් මට මතකවත් නැහැ. මං අසාමාන්‍ය විදිහට සංස්කරණය කරන කෙනෙක්.උදාහරණයක් හැටියට ‘තී හා තා’ මුල් පිටපත ලියල ඉවර වෙන කොට ඒක පිටු දාහකටත් වැඩියි.හැබැයි මුද්‍රණය වුන පොතේ තියෙන්නේ පිටු හාරසිය ගානයි.මං සංස්කරණයේදි මුලින් ම කළේ පිටු අටසිය ගානක් කපල අයින් කරපු එක.ඊට පස්සෙ තව පිටු දෙසීයක් විතර අලුතෙන් ලිව්වා.මගෙ දෙවෙනි පොත ‘සී ප්ලස්’ මම දහ සැරයක් විතර නැවත නැවත ලිව්වා.මුල් පිටපතේ තියෙන්නෙ පිටු දෙසීයක් විතර,මුද්‍රණයට යනකොට පිටු හාරසිය ගාණක් තිබුණා. තුන්වෙනි පොතේ මුලින් ලියල ඉවර වෙන කොට තිබුනෙ එක කතාවයි.නමුත් මුද්‍රණය කරන වෙලාව වෙනකොට ඒක කතා දෙකක් වෙලා තිබුණා. ඉතින් පැහැදිලියි නේ,ඔබ කියවන පලමු වාක්‍ය මම මේ සංස්කරණ වලදි නැවත ලියපු එකක් මිස ඒ ඒ පොත් ලිවීම පටන් ගනිද්දි මම ලියපු එක නෙමෙයි.

කෞශල්‍ය : ඔබ දැන් නවකතාවක් ලියන්න පටන්ගන්න යන්නෙ කියන එක කොහොම ද දැනෙන්නෙ? ඒක ඔබ ඉතා දැනුවත්ව කරන දෙයක් ද?

සුරත් : දැන් ‘තී හා තා’ ගත්තොත් එහෙම මං මේ නවකතාවක් ලියන්න යන්නෙ කියන එක තිබුණේ නැහැ.මං ඒක පටන් ගන්නෙ මගෙ ප්‍රේම සම්බන්ධයක් බිඳවැටුනට පස්සෙ මට ඇතිවුන පශ්චාත්තාපයෙන් ගැලවෙන්න.ඒ පොතේ තියෙන්නෙ මගෙ කතාව.මේක පිටු දාහක් විතර ලියවෙන්නෙ ඒකයි.මේ ගැන දන්න මගෙ යාලුවෙක් මට කියපු දෙයක් තමයි ඒ සම්බන්ධයෙ බිඳ වැටීමෙන් මට ඇතිවුන ඩිප්‍රෙෂන් එකෙන් ගැලවෙන හීලිං ප්‍රොසෙස් එක තමයි මේ ලිවීම කියල.ඒක ඇත්ත. මට පිටු දාහක් නෙමේ විසිදාහක් වුනත් ඒක ලියන්න තිබුනා.නමුත් ඒ ලිවීම විසින් මාව ඒ මානසික ආතතියෙන් ගැලෙව්වට පස්සෙ මේක පොතක් හැටියට ප්‍රින්ට් කරන්න ඕනෙ කියල හිතන කොට මට තේරුණා මිනිස්සුන්ට පිස්සු නෑ පිටු දාහක් මේක කියවන්න කියල.කොටින්ම පිටු සීයක් විතර ඒකෙ තිබුනා මමයි මගෙ පෙම්වතියයි හුවමාරු කර ගත්ත ඇත්තම ලියුම්.ඉතින් සංස්කරණයෙදි තමයි මේ දේවල් අයින් වෙලා මේක නවකතාවක් වෙන්නෙ.හැබැයි ප්‍රධාන චරිත දෙකේ චරිත ස්වභාවයන් වෙනස් වුණේ නැහැ.මට ඒ නවකතාවෙ ඕනෙ වුනේ ඇත්ත ලියන්න. දෙවෙනි පොත ලියන්න ගනිද්දි මං දැනං හිටිය මං මේ නවකතාවක් ලියන්න යන්නෙ කියන එක. ආදරේට පස්සෙ ජීවිතේ තිබුණ අනිත් බරපතලම දේ මිත්‍රත්වයන්.ඉතින් දෙවෙනි එක හැටියට මට ඕනෙ වුනේ මිත්‍රත්වයන් ගැන නවකතාවක් ලියන්න.

කෞශල්‍ය :ඔබ ලියන්න පටන් ගනිද්දි ඔබ ලියන්න යන නවකතාව ගැන මොනතරම් දැනුවත් ද?

සුරත්: ලියන්න යන නවකතාවෙ අදහස ගැන ගැඹුරු අවබෝධයක් තියනවා. නමුත් ලියන්න යන කතාව ගැන හරියටම දන්නෙ නැහැ.ලියාගෙන යද්දි තමයි ඒක හැදෙන්නෙ. ඒ කියන්නෙ කතාවෙ සිදුවීම් පෙළගැහෙන හැටි චරිත වර්ධනය වෙන හැටි මේවා තීරණය වෙන්නෙ ලිවීමේ ක්‍රියාවලිය ඇතුළේ.මගෙ තුන්වෙනි පොත, ‘ඩුඕ’, ඒකෙ කතා දෙකක් තියනවා,ඒකෙ දෙවෙනි කතාව ලියද්දි මං කටුසටහන් ගහල පරිච්ඡේද වල සාරාංශ පවා ලියල තමයි පටන් ගත්තෙ. ඒත් පළවෙනි පරිච්ඡේදෙන් පස්සෙ මං සැලසුම් කරපු කතාව වෙනස් වුණා.කතාව වෙන ම දිශාවකට යන්න ගත්ත. මං හිතන්නෙ ඒක මං සැලසුම් කලාට වඩා හොඳ දිශාවක්.හැමවිටම මෙහෙම තමයි, අපි පටන් ගන්න කොට ලියන්න යන චරිත ගැන දන්නව වුණ ත් ඒ චරිත වලට නිදහසේ හැසිරෙන්න දුන්න ම ඒවා අපි අපේක්ෂා නොකළ අන්තයන්ට ගමන් කරනවා.මගෙ පළවෙනි හා දෙවෙනි නවකතා වල මට වැඩිපුරම ඕනෙ වුනේ චරිත වල මානසික ලෝකය හැසිරෙන විදිහ පෙන්නන්න මිසක් කතාවකට මුල් තැන දෙන්න නෙමේ.චරිත වල සිතුම් පැතුම් හැඟීම් එළියට එනකොට කතාව යන්නෙ ඒකට අනුව.මට නං කතාවක් නිශ්චිතව ගොඩනැගෙන්නෙ ලිවීමේ ක්‍රියාවලිය ඇතුළෙමයි.අපි පරිකල්පනය නොකළ දේවල් ලියන ක්‍රියාවලිය ඇතුළේ ලියවෙනවා. ලිව්වට පස්සෙ කියවල බලද්දි හිතෙනවා කොහොමද මං මේක ලිව්වෙ කියල.ලිවීමේ පරමානන්දය තියෙන්නෙත් එතන මං හිතන විදිහට.


කෞශල්‍ය : ඔබ කිව්ව පළවෙනි නවකතාවෙ තියෙන්නෙ ඔබේ ම කතාව කියල. තමන්ගෙම අත්දැකීමක් නවකතාවක් බවට පත්වෙන කොට ලේඛකයෙක් අත්විඳින දේවල් ගැන ටිකක් කියන්න පුලුවන් ද?

සුරත් :පළවෙනි එක විතරක් නෙමේ දෙවෙනි එක ගත්තත් එහෙමයි.මම දැනට ලියල තියන දේවල් වලින් හතරෙන් තුනකටත් වඩා තියෙන්නෙ මගෙ අත්දැකීම්.මේ ගොඩක් චරිත මං පුද්ගලිකව දන්න අය.නමුත් ලිවීමේදි ඇත්තට මං දන්න චරිතයේ ගති ලක්ෂණ තවත් චරිත වලට කාන්දු වෙන්න පුලුවන්.මගෙ මිත්‍රයන් අතරින් චරිත තුනක් මගෙ කතාවකට ආවොත් ඒ අයට සම්බන්ධ ඇත්ත ලෝකෙ ඉන්න තවත් අයගෙ ගුණයන් මේ චරිත වලට එන්නත් පුලුවන්.ඒ වගේම මේ හැම චරිතයකට ම මගේ චරිතයේ ස්වභාවය විවිධ පරිමාවන්ගෙන් ඇතුළු වෙනවා.ඒ නිසා කවදාවත් මට පූර්ණ ලෙස යහපත් චරිතයක් නං ලියන්න වෙන්නෙම නැහැ.මේ විදිහට තමයි සැබෑ ජීවිතය ප්‍රබන්ධ ලෝකයට ඇතුළු වෙන්නෙ. ඒ නිසා අත්දැකීම නවකතාවක් බවට පත්වෙද්දි ඒක යටත් වෙන්නෙ ප්‍රබන්ධයේ තර්කනයට,මොකද දැන් මේ අත්දැකීම් එන්නෙ මගෙ මතකයෙන් නවකතාවක් ලිවීමේ ක්‍රියාවලිය ඇතුළේ.හැබැයි පළවෙනි නවකතාවෙදි නං ඇත්තට ම මේ ප්‍රධාන චරිත දෙකේ ස්වභාවයන් ඇත්ත චරිත වල වගේම,ඒ කියන්නෙ ඒ අත්දැකීමට මුහුණ දුන්න මං සහ එවකට මගේ පෙම්වතියගේ ස්වරූපයට ආසන්නයෙන් තිබුණා.මොකද ඒක ලියවුණු ක්‍රියාවලිය වෙනස් මං මුලින් පැහැදිලි කරපු විදිහට.


කෞශල්‍ය : ඔබ කලින් කිව්ව ඔබ ලියන දේවල් සෑහෙන තරම් සංස්කරණය කරනව කියල. මේ සංස්කරණ ක්‍රියාවලිය සිද්ධ වෙන විදිහ ටිකක් පැහැදිලි කරන්න පුලුවන් ද?

සුරත්: ඇත්තට ම කිව්වොත් මං සෑහෙන තරම් නෙමේ නොසෑහෙන තරම් සංස්කරණය කරනව කියල තමයි කියන්න වෙන්නෙ.මොකද මං පළවෙනි ඩ්‍රාෆ්ට් එක හරි වේගෙන් ලියනවා. ඒකෙදි මට ඕනෙ මගෙ හිතේ තියන හැඟීම පුලුවන් තරං ඉක්මනින් පිට කරන්න. මං කොහොමත් නොඉවසිලිවන්ත කෙනෙක්.ඒ නිසා මේ පළවෙනි ලිවීම මට හරි වදයක්.හරි පීඩනයක්.හැකි ඉක්මනින් මගෙ හිතේ තියෙන දේ ලියල ඉවර වුනා ම මට හරි සහනක් දැනෙනවා.ඊට පස්සෙ ඒක සංස්කරණය කරන්න පටන්ගන්න තැන ඉඳල තමයි මං ලිවීම එන්ජෝයි කරන්න පටන් ගන්නෙ. ඇත්තටම කතාව ගොඩනැගෙන්න පටන් ගන්නෙ මේ ක්‍රියාවලිය ඇතුළේ.මෙතෙන්දි මම සමහර දේවල් නැවත ලියනවා වගේම ගොඩක් දේවල් අලුතෙන්මත් ලියනවා. මම පරිච්ඡේදෙන් පරිච්ඡේදෙ අරගෙන මුලු පොතම එක වරක් මේ විදිහට සංස්කරණය කළා ට පස්සෙ මම ඒකෙ ප්‍රින්ට්අවුට් එකක් අරගන්නවා ඒ 5 සයිස් එකට, ඒ කියන්නෙ පොතක ප්‍රමාණයට ම.ඊට පස්සෙ ඒක කියවමින් දෙවෙනි සංස්කරණය පටන් ගන්නවා.මේ විදිහට මේක පොතක් හැටියට මුද්‍රණය කරන්න මං සෑහීමට පත් වෙනකං මේ ක්‍රියාවලිය යනවා. මං කලින් කිව්වෙ,දෙවෙනි පොතේ දි දහ පාරක් මම මේක කළා.මං හිතන්නෙ සංස්කරණය කියන දේ කරන්න බැරි නං මං ලේඛකයෙක් වෙන එකක් නැහැ.

කෞශල්‍ය:මේ සංවාදය අවසන් කරන්න පෙර මට කියන්න ඔබ ලියන්නෙ මොන වෙලාවටද? ඔබ වැඩිපුරම ලියන තැන මොකද්ද?

සුරත්: මම පාන්දර හතරට නැගිටිනවා.හතරට නැගිටින්නෙ ලියන්න ඕනෙ හින්ද ම නෙමේ මට ඊට පස්සෙ නින්ද යන්නෑ.මම කොහොමත් ටිකක් ඩිප්‍රෙස්ඩ්. ඊට පස්සෙ පුතා නැගිටිනතුරු හය විතර වෙනකං වැඩ කරනවා.මං සිංගල් පේරන්ට් කෙනෙක් නේ.ඉතිං පුතා ඉස්කෝලෙ යනකං එයාගෙ වැඩ තියනවා.එයා ඉස්කෝලෙ යැව්වට පස්සෙ මං පැය එකහමාරක විතර වෝක් එකක් දානවා.ඒක මේ ව්‍යායාම අරමුණින් කරන එකක් නෙමේ,රිලැක්ස් වෙන්න කරන එකක්.මං ඇවිදින්නෙ පාරෙ මිනිස්සු දිහා බල බල. ඊට පස්සෙ ආපහු පුතා ගෙදර එනකං මං ලියනවා.මං මුලින් ලිව්වෙ සාමාන්‍ය විදිහට මේසෙ, පුටුවක වාඩි වෙලා.පෑනෙන් තමයි ලිව්වෙ.මං ලියන්නෙ කොලේට නැමිල, මගෙ මූණ තියෙන්නෙ පෑනට උඩින් අල්ලන කැමරාවක් වගේ. මෙහෙම ටික කාලයක් වැඩ කලාට පස්සෙ මට කොන්දේ අමාරුවක් ආවා.දැන් ලියන විදිහ තමයි ඔය ෆොටෝ එකේ තියෙන්නෙ.ටැබ් එකෙන් තමයි ලියන්නෙ.මට දැන් මේක මෙසෙ ලියනවාට වඩා ගොඩක් පහසුයි.තවත් දෙයක් කියන්න ඕනෙ,මං දැන් පූර්ණකාලීන ලේඛකයෙක්.මට වෙන රස්සාවක් නැහැ.

මේ කෙටි සංවාදය තුළ මා උත්සාහ කළේ සුරත් ද මැල් නවකතාකරුවෙකු ලෙස පවතින ආකාරය අත්දැකීමට ය.තම පොත් මත සමරු අත්සන් යොදන විට සිටින පුද්ගලයාට හෝ තම පොත් ගැන සම්මුඛ සාකච්ඡා වලට මුහුණ දෙන පුද්ගලයාට වෙනස්ව එම පොත් ලියන විට සිටින පුද්ගලයා කෙවැනිදැයි සොයා බැලීම මේ සාකච්ඡා මාලාවේ අරමුණ යි.

ලියන විට සිටින පුද්ගලයාගේ හැඟීම්,වතාවත් හා තාක්ෂණයන් හෙළිදරව් කිරීම මෙහි අපේක්ෂාවයි. දැන් සුරත් ද මැල් නැමැති නවකතාකරුවා ගේ නවකතාවක් කියවන ඔබට මදකට දෑස් වසාගෙන ඔහු එහි එක් එක් වාක්‍යය ලියන විට අත්විඳි වේදනාවන් හා ආනන්දයන් පරිකල්පනය කළ හැකිය.






Nissanka Rajapaksa

unread,
Oct 6, 2023, 11:11:53 PM10/6/23
to INDRAKA group
  • 6 ඔක්තෝබර් 2023

'නිලි වැස්ස' නවකතාවෙන් ඇරඹෙන කත්‍යානා අමරසිංහගේ නවකතාකරණය මේ වන විට 'වර්ණදාසි' සහ 'ධරණි', පසුකර විත් දැන් 'බාන කුසුම්' අසල කෙටි විවේකයක් ගනිමින් සිටියි.

සිය පළමු නවකතාවෙන්ම ස්ත්‍රීත්වයේ සංකීර්ණතා සෞන්දර්යාත්මකව හසුකර ගත් ලේඛිකාවක ලෙස අවදානයට ලක් වූ කත්‍යානා ඇගේ අවසන් නවකතාව වෙත එන විට ස්ත්‍රී ආත්මයේ අඳුරු අහුමුළු වචන වලින් එළිය කරන්නට සමත් ලේඛිකාවක ලෙස පාඨක විචාරක සිත් දිනාගෙන ඇත.

මා ඇය සමග කතාබහක යෙදෙන්නේ නවකතාකාරියක ලෙස ඇය ලේඛනයේ යෙදෙන විට ඇයට දැනෙන හැඟීම් සහ ලිවීම සමඟ බැඳුනු ඇයටම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය.

මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති 'නිම්නාගේ ඉතිහාසය' (2019) සහ 'මේ රහස් කවුළුවෙන් එබෙන්න' (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුනු ඒවා ය.

3. 'මම ලියන හැටි': කත්‍යානා අමරසිංහ

මට ලිවීමට සුවිශේෂ වෙලාවක් කාල සටහනක් නැහැ. මේ දවස් වල නං මං වැඩි පුරම ලියන්නෙ ඇඳේ වාඩි වෙලා. සහහර වෙලාවට මේසෙ, තවත් වෙලාවල් තියනවා බිම වාඩිවෙලත් ලියන. පරිගණකයෙන් තමයි ලියන්නෙ. මට ලිවීමේ ආවේගය එන්නෙ මොන වෙලාවෙද ඒ වෙලාවට මං ලියනවා.

කෞශල්‍ය : මීට කලින් සති වල කතාබහට එක් වුණු ලේඛකයන්ගෙනුත් මම මුලින්ම අහපු ප්‍රශ්නය තමයි ඔවුන්ගේ පොත් වල පළවෙනි වාක්‍යය ලියපු විදිහ. අපි ඔබේ පොත් වල දකින පළවෙනි වාක්‍ය ලියවුණු විදිහ ගැන යමක් කියන්න පුලුවන් ද?

කත්‍යානා: මං මේකට මෙහෙම උත්තර දෙන්නං.මගේ අත්දැකීම අනුව නවකතාවක ප්ලොට් එක ඉබේම එනවා. චරිත ගොඩනැගෙනවා.සිදුවීම් එනවා. සමහර අවස්ථා වල දි කතාව පටන් ගන්න විදිහ සහ පළවෙනි වාක්‍යය පවා එනවා. නමුත් ලියන්න පටන් ගැනීම කියන්නෙ වෙනම කාර්යයක්. එතෙන්දි අර ඉබේම ඇවිත් අපේ පරිකල්පනය තුළ වර්ධනය වුනු දේවල් වලින් සියයට පනහක් වගේ ඒ විදිහටම එළියට එනවා.නමුත් ලිවීමේ පුහුණුවක් ඇතුලෙ ලියනකොට මේ ඉබේ වර්ධනය වුණු දේවල් වලින් යම් කොටසක් නිරායාසයෙන් ම නියාමනයකට ලක් වෙනවා.මේ නිසා මගේ පළවෙනි වාක්‍යය ලියවෙන්න මෙන්න මේ යාන්ත්‍රණයන් දෙකම බලපානවා.ඒ වගේම මට හිතෙනවා ජනමාධ්‍යවේදියෙක් හැටියට මං ලබපු පුහුණුව මට බලපාල තියනවා මෙතෙන්දි කියල.මම විශේෂාංග ලියපු මාධ්‍යවේදියෙක් හැටියට,අපිව පුහුණු කරල තියෙනවා පළමු වාක්‍යය තුළ ලිපියේ සාරයට අදාල වූ යමක් කාවද්දන්න.ඉතිං මගෙ හිතේ ඉබේ මතුවෙන වාක්‍යයක් නිරායාසයෙන්ම නියාමනයකට ලක් වෙද්දි ඒ වෙනකොට මගේ හිතේ ගොඩනැගිල තියන කතාවෙ සාරයට අදාළ වූ යමක් මේ වාක්‍යය තුළට ඇතුල් වෙනවා.

කෞශල්‍ය : ඔබ දැන් මේ ලිවීමේ ක්‍රියාවලිය පටන් ගන්නකොට ඔබ ලියන්න යන නවකතාව ගැන මොනතරම් දැනුවත් ද?

කත්‍යානා: මං හිතන්නෙ මම සෑහෙන දැනුවත්.මොකද මං නවකතාවක් ලියන්න පටන් ගන්නෙ සෑහෙන දුරට හිතල හිතල නවකතාව ඔළුව ඇතුලේ ගොඩනගල තවදුරටත් මේක දරාගෙන ඉන්න බැරි තත්වයකට ආවම.ඒ කියන්නෙ එක්තරා මොහොතකදි මට දැනෙනවා දැන් මේක ලියන්නම ඕනෙ කියන එක.ඒ වගේ තැනකට එනවා කියන්නෙ සෑහෙන දුරකට ප්ලොට් එක හැදිල තියෙන්නෙ.මම දන්නවා මොකද්ද මේ ලියන්නෙ කියල.සමහර විට අවසානය මම දන්නෙ නැති වෙන්න පුලුවන් දන්නව වෙන්නත් පුලුවන්.දන්නව වුනත් ඒක වෙනස් වෙන්න පුලුවන්.මැද්දෙ තියන සමහර චරිත ගැන මම ඒ තරම් හිතල නැති වෙන්න පුලුවන්. හැබැයි මට පැහැදිලි මූලික අදහසක් තියනව මම ලියන්න යන්නෙ මොකද්ද කියන එක සම්බන්ධයෙන්.

කෞශල්‍ය: දැන් ඔබ මෙහෙම ලියාගෙන යද්දි ඔබේ ඔලුව ඇතුලෙ තියෙන මේ සැලැස්ම ඒ විදිහටම හැමවිට ම ලියවුනා ද?

කත්‍යානා:නෑ. ඒක වෙනස් වෙච්ච අවස්ථා තියනවා. උදාහරණයක් හැටියට වර්ණදාසි සහ බාන කුසුම් ලියද්දි ඒක වුණා.මට තේරුණා කතාව විසින් මාව ඇදගෙන යනව වෙනත් පැති වලට කියල.මගේ පළවෙනි නවකතාව, නිලි වැස්ස සහ තුන්වෙනි එක, ධරණි ලියද්දි මට එහෙම වුනේ අඩුවෙන්. ඒත් වෙනස් වීම් සිද්ද වුණා. සමහර සැලසුම් කරල තිබුණ චරිත ඇතුල් නොකරන්න තීරණය කලා ලිවීම ඇතුලෙ. ඒවගේ දේවල් ඒ නවකතා වලදිත් වුණා. නමුත් විශේෂයෙන්ම බාන කුසුම්, ඒ කියන්නෙ මගෙ අන්තිම නවකතාව ලියද්දි මට දැනුන මට වමට යන්න ඕනෙ වුණත් කතාව මාව දකුණට ඇදන් යනව වගේ.නමුත් ඒකට ඉඩ දෙනකොටත් මම ගියේ දැනුවත්ව.සමහර වෙලාවට අපට පුලුවන්නෙ ඇදගෙන යනකොට වුණත් යන දිශාව ගැන දැනුවත්ව යන්න.ඒ නිසා මම කල්පනාවෙන් ඒ ඇදගෙන යන දිහාට ගියා. කොහොම වුණත් අර මුලින් සැලසුම් කරල තිබුණු එක වෙනස් වුණා .

කෞශල්‍ය:දැන් ඕකට අදාළවම මම මෙහෙම අහන්නං. ඔබ කලින් සැලසුම් කරල තියන චරිත වල තත්ත්වය ලිවීමේ ක්‍රියාවලිය ඇතුලෙ වෙනස් වෙලා තියනවාද? සමහර වෙලාවට අපි චරිත ගොඩනගනවනෙ කතාවෙ හරිම පොඩි දෙයක් වෙනුවෙන්. මේ වගේ සුළු චරිත අපි අපේක්ෂා නොකළ විදිහට කතාව තුළ ජීවත් වෙන්න පටන් ගැනීම වගේ දෙයක් ලිවීමේ ක්‍රියාවලිය තුළ ඔබ අත්විඳල තියනවාද?

කත්‍යානා: අනිවාර්යෙන්ම එහෙම වෙලා තියෙනවා.මං කියන්නෙ නැහැ හැම නවකතාවෙදිම එහෙම වුනා කියල. බාන කුසුම් වල දෙවෙනි භාගෙ ඇතුලෙ ගොඩනගපු සමහර චරිත වලට එහෙම වුණා. මුලදි මට සැලසුමක් තිබුණේ නැහැ ඒගොල්ලො තීරණාත්මක චරිත බවට පත් වෙයි කියල.ඒත් එහෙම වුණා.මං අර කලින් කිව්වෙ නවකතාව විසින් මාව ඇදගෙන යනව කියල සමහර වෙලාවට, අන්න ඒ වගේ වෙලාවට තමයි ඕක වෙන්නෙ.අපි හිතපු නැති පැති වලට නවකතාව යනකොට අපි හිතපු නැති සුළු චරිත විශාල වෙන්න ගන්නවා.ඒක ඕන්නං මෙහෙම කියන්නත් පුලුවන්.මේ සුළු චරිත විශාල වෙන්න ගන්නකොට තමයි කතාව අපි නොහිතපු පැති වලට ගමන් කරන්න පටන් ගන්නෙ කියලත්.ඒ නිසා මේ දෙක එකිනෙකට සම්බන්ධයි.

කුරුල්ලො කෑ ගහන්න පටන් අරන්. සමහර වෙලාවට එක දිගට ලියන්නෙ පැය භාගයක් පැයක් වගේ වෙන්නත් පුලුවන්. හැබැයි නවකතාවක් ලියන කාලෙට වෙන වැඩක් කලත් ඔෆිස් ගියත් ඒ කතාව ඇතුලෙ තමයි ඉන්නෙ. මට සාමාන්‍යයෙන් එහෙම ෆැන්ටසි ලෝක වල ජීවත් වෙන්න පුලුවන්.මම කරන්නෙ ඒ ෆැන්ටසි ලෝකෙ ඇතුලට මගෙ අනිත් වැඩත් අරන් යන එක.එතකොට ඒවත් කරන ගමන් මට මගේ කතාවෙ පරිකල්පනීය ලෝකය තුළ ත් ඉන්න පුලුවන්.

කෞශල්‍ය: මං අවසාන වශයෙන් අහන්න කැමතියි ලියන විට ඔබ විඳින සතුට ගැන?

කත්‍යානා:සංවේදනා, හැඟීම්, සංකල්ප රූප හැටියට මගෙ ඔළුව ඇතුලෙ තියන දේවල් වචන බවට හැරෙන කොට දැනෙන සතුට අමුතු එකක්.මනසින් විඳිමින් හිටියට හරියටම භාෂාවට ගේන්න අසමත් වෙලා තිබුන දෙයක් ලිවීම තුළ වචනයට නැගුණහම මං හිතින් විඳිමින් හිටියෙ මේකද කියල සමහර වෙලාවට විස්මයක් දැනෙනවා. ඒ නිසා ඒක විස්මිත සතුටක්.

කත්‍යානා අමරසිංහ නවකතා ලියන අතරේ ඒ විස්මිත සතුට විඳින හැටි ඇයගේ නවකතා කියවන අතරතුර දැන් අපට පරිකල්පනය කළ හැකිය. එසේම ඒ සතුට විඳීම වෙනුවෙන් ඇය දරන වෙහෙස ද එවිට අපේ මතකයට නැඟෙනු ඇත.

නවකතාවක් ලියන විට පවතින ඇය යනු නවකතාවක් ලියා අවසන් කළ පසු අපට හමු වන ඇය නොවන බව ද මේ කතාබහ අපට ඉඟිකරයි.


Nissanka Rajapaksa

unread,
Oct 29, 2023, 9:14:22 AM10/29/23
to INDRAKA group

4. 'මම ලියන හැටි': මංජුල වෙඩිවර්ධන


  • 13 ඔක්තෝබර් 2023

මෙවර කතාබහට එක්වන මංජුල වෙඩිවර්ධන යනු සිංහල සාහිත්‍යය තුළ අපට මුණගැසෙන තීරණාත්මක නවකතාකරුවෙකු සේම විශිෂ්ට කවියෙක් සහ කෙටිකතාකරුවෙකි.

ඊට අමතරව ටෙලිනාට්‍ය පිටපත් රචනයේ සහ ගීත රචනයේ ද ඔහු යෙදෙයි. 'බත්තලංගුණ්ඩුව' කෘතියෙන් ආරම්භ වන ඔහුගේ නවකතාකරණය ‘මගේ ආදරණීය යක්ෂණී', ‘පැරිස් වළාකුළු', ‘ඒ අහඹු අතීත හැන්දෑව' හරහා පැමිණ ‘මුන්නක්කරේ සංසාරේ' අසළ දැන් කෙටි විරාමයක් ගනිමින් සිටියි.

මා ඔහු සමග කතාබහක යෙදෙන්නේ නවකතාකරුවෙකු ලෙස ඔහු ලේඛනයේ යෙදෙන විට ඔහුට දැනෙන හැඟීම් සහ ලිවීම සමග බැඳුනු ඔහුට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය.

මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති ‘නිම්නාගේ ඉතිහාසය' (2019) සහ ‘මේ රහස් කවුලුවෙන් එබෙන්න' (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුනු ඒවා ය.

හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේ ම වූ ආකාරයකටය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ,ලියන කාලයට හැසිරෙන හැටි සහ ලියන විට විඳින සතුට වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය.

මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය.

කෞශල්‍ය: මේ සංවාද මාලාවේ දිගටම සිද්ධ වුණු විදිහටම මම මුලින්ම ඔබෙනුත් අහන්නෙ ඔබේ නවකතාවල පළවෙනි වාක්‍යය ලියවුනු හැටි ගැන. අපි දෙන්න ම හොඳින් දන්න දෙයක්නෙ මේ සමාරම්භක මොහොත මොනතරං වැදගත් ද කියන එක.

මංජුල: ඔව් අනිවාර්යෙන්ම. හැබැයි මට සාමාන්‍යයෙන් නවකතාවක් ඔළුවේ වැඩකරන්න පටන් ගත්ත ම මුලින්ම එන්නෙ මම ලියන්න යන නවකතාවෙ නම. 'බත්තලංගුණ්ඩුව' ගත්තත්, ‘මගේ ආදරණීය යක්ෂණී' ගත්තත්, ‘පැරිස් වළාකුළු' හරි ‘මුන්නක්කරේ සංසාරේ' හරි ගත්තත් ඒ හැමවෙලේ ම මුලින්ම ඇවිත් තියෙන්නෙ පොතේ නම. ‘ඒ අහඹු අතීත හැන්දෑව' විතරයි එහෙම නොවුනෙ, මොකද ඒක මම මුලින්ම ලියන්නෙ ‘ඇහිපිල්ලමක් යට' කියන ටෙලි නාට්‍යය හැටියට. හැබැයි ඒ ප්ලොට් එක මුලින් ආවෙ නවකතාවක් හැටියට. එතකොට ආපු නම තමයි ඇහිපිල්ලමක් යට. ඒක ටෙලි නාට්‍යයට දුන්න නිසා තමයි වෙනත් නමක් නවකතාවට එන්නෙ. ඉතින්, යමක් නවකතාවක් බවට පත්වෙනවා කියන අදහස එනකොටම වෙන්නෙ මේ විදිහට නමක් ඔළුවට එන එක.

කෞශල්‍ය : දැන් එතකොට මේ වෙද්දි ඔබ ලියන්න යන නවකතාව ගැන මොනතරං දැනුවත් ද?

මංජුල: මේ වෙනකොට මූලික චරිත ටික ඔළුව ඇතුලේ ස්ථානගත වෙලා. මම ලියන්න යන සමස්ත වියමනේ ඡායාවක් මා තුළ තියනව කියල මට දැනෙමින් තියනවා. ඒක පරිපූර්ණ සවිඥ්ඥානික දැනුමක් නෙමෙයි. මා තුළ විශ්වාසයක් තියනවා මේ චරිත ත් එක්ක මේ සැකැස්ම මා තුළ තියනව කියන එක ගැන. නමුත් පළවෙනි වාක්‍යය නැත්තං වාක්‍යය කිහිපය ලියවීම ත් එක්ක තමයි මේක හැඩගැහෙන්න පටන් ගන්නෙ. පළවෙනි වාක්‍යය කියන එක මට හරිම වැදගත්. නවකතාවෙදි විතරක් නෙමේ මාධ්‍යවේදියෙක් හැටියට මම ලියපු විශේෂාංග වලත් ඒක එහෙමයි. පළවෙනි වාක්‍යය කිහිපය අවශ්‍ය ආකාරයට ලියන්න මං සෑහෙන වෙහෙසක් දරනවා. 'බත්තලංගුණ්ඩුව' නවකතාව ලියන්න කලින් මං බත්තලංගුණ්ඩුවට ගිහින් ලියපු විශේෂාංග ලිපියක් තියනවා 2000 අවුරුද්දෙ විතර. ඒ ලිපියෙ පළවෙනි වාක්‍යය තමයි ඒ ආකාරයෙන්ම නවකතාවට ඇවිත් තියෙන්නෙ. දැන් උදාහරණයකට ‘මුන්නක්කරේ සංසාරේ' නවකතාව ගත්තොත් ඒක මගෙ ඔළුව ඇතුලේ වැඩෙන්න පටන් ගන්නෙ 2013. නමුත් මේක හිත ඇතුලෙ වද දෙමින් තිබිල පළවෙනි වාක්‍යය ලියවෙන්නෙ 2015 දී. ඒ ලියපු පළමු වාක්‍යය තමයි පොතේ දැන් තියෙන්නෙ.

කෞශල්‍ය : දැන් එතකොට ‘මුන්නක්කරේ' ලියන්න පටන්ගත්තට පස්සෙ ඒකට කලින් ඔබ තව නවකතා දෙකක් විතර පළ කරල තියනවා. මේක කොහොමද වෙන්නෙ?

මංජුල: මං ඇත්තටම එකවර වැඩ කීපෙක ඉන්නෙ. එකක් ඉවර වෙලා තව එකක් පටන් ගන්නව වගේ එකක් නෙමේ මගෙ විදිහ. දැන් උදාහරණයක් හැටියට, මං ‘මගේ ආදරණීය යක්ෂණී' අවසන් කළාට පස්සෙ දැන් ඊළඟ නවකතාව පටන් ගන්නව වගේ එකක් නෑ. හැබැයි ඒ වෙනකොටත් නවකතා විදිහට පටන් ගත්තු නම් දාපු තුන හතරක් මගෙ පරිගණකයේ තියනවා. හැබැයි නවකතාවක් අවසන් වුනාට පස්සෙ මම කරන්නෙ මගෙ සාමාන්‍ය ජීවිතේට යන එක. කඳු නගින, ඇවිදින, වැවේ නාන, ඍතු මාරු වෙන එකට මුහුණ දෙන ඒ ජීවිතේ ගත කරමින් ඉන්න කොට යම් කිසි දෙයක් විසින් ඊළඟ වැඩේ තීරණය කරන්න පුලුවන්. මං ‘මුන්නක්කරේ' ලියමින් ඉන්නකොට තමයි තමලිනී පිළිකාවකින් නැතිවුණා කියන ප්‍රවෘත්තිය එන්නෙ. තමලිනී කියන දන්න කියන චරිතය, ඉතාම දුක් විඳිමින් උසාවි ගෙනිහිං, පුනරුත්ථාපනය වෙලා, හමුදාව විසින් කපුකම් කරල, සම්පූර්ණයෙන්ම තමන්ගෙ යාන්ත්‍රණයට ප්‍රතිවිරුද්ධ කෙනෙක් ස්වාමි පුරුෂයා හැටියට අභිමුඛ වෙලා... දැන් මෙන්න මේ දේවල් හිතට එන්න ගන්නකොට අර ලියමින් හිටපු ‘මුන්නක්කරේ' හෝ තවත් දේවල් පොඩ්ඩක් පැත්තකට වෙලා මේකත් එක්ක ගැවසෙන්න, සැතපෙන්න හැමිනෙන්න ගන්නවා. එහෙම තමයි ‘පැරිස් වළාකුළු' ‘මුන්නක්කරේ' ඕවර්ටේක් කරන්නෙ. නවකතාවක් අවසාන අර්ථයෙන් අපේ ආත්මීයත්වයත් එක්කනෙ බැඳිල තියෙන්නෙ. නවකතා ලිවීමේ පිස්සුව එන්නෙ ඒකත් එක්ක. එහෙම නැත්තං අපි නිකම්ම කතාකාරයො වෙනවා. ඉතින් හැමවෙලේම ලියමින් ඉන්න කීපයක් අතේ තිබුණත් මේ වගේ හේතු මත යමක් ඉදිරියට එනවා. ඒකත් එක්ක වැඩ කරන අතරෙ තව එකක් ඉදිරියට එන්නත් පුලුවන්. මේ විදිහට වැඩ කරල යමක් මුද්‍රණයට සුදුසු පරිසමාප්ත තත්වයට පත් වෙලා කියල දැනෙන කං කරන්නෙ හංගගෙන තනියම රසවිඳින එක.

මංජුල වෙඩිවර්ධන

ඡායාරූප මූලාශ්‍රය,PROVIDED

ඡායාරූප ශීර්ෂ වැකිය,

මංජුල වෙඩිවර්ධන

කෞශල්‍ය : මොනතරම් ආත්මීය සාධක මත නවකතාවක් ලිවීම තීරණය වුනත් අපි දන්නව ඒ ඒ නවකතාව ගොඩනැංවීමට අදාළව කළ යුතු පර්යේෂණ තියනවා. මේක කොහොමද වෙන්නෙ?

මංජුල: ඔව්, අනිවාර්යයෙන්ම. මට මේ හැදෑරීම, මේ පර්යේෂණය හැම විටම ද්වීතිකයි. මුලින්ම නවකතාවෙ සංකල්පය පහළ වෙලා, නමකුත් ඇවිල්ලා පළවෙනි වාක්‍ය කිහිපයත් ලියල තියෙන්නෙ. දැන් මෙතන කතාවක් තියනවා නමුත් මේක නවකතාවක් වෙන්න නං මේ කතාව ගැටගැහිල තියෙන සමාජ, ආර්ථික, සංස්කෘතික, දේශපාලනික ප්‍රවාහය තේරුම් ගන්න ඕන. මෙන්න මෙතෙන්දි තමයි රිසර්ච් එක එන්නෙ. මං මුන්නක්කරෙන් උදාහරණයක් දෙන්නං, දැන් ඒකෙ අර මෝඩ ඇල පාලම හදන්න කලින් තියන ලෑලි පාලමෙන් ඌරු පැටව් දාගෙන යන ට්‍රැක්ටරයක් පාලම කඩාගෙන ඇලට වැටෙනවා. ඊට අවුරුදු පනහකට විතර පස්සෙ පාලම උඩ විනෝදෙට බිලී බාමින් ඉන්න ඉඩම්හිමි ව්‍යාපාරිකයෙකුගෙ බිලී පිත්තට පැටලිලා මේ ට්‍රැක්ටරේ ගොඩට එනවා, මේකෙ හිටපු ඌරු පැටව් පාලම උඩට වැටිල මේ පොතේ කියවෙන පල්ලි දෙකක් දෙසට දුවන්න පටන් ගන්නවා. දැන් කොහොමද ඒක වෙන්නෙ. මේ සිදුවීම් දෙක පුරුද්දන්න රිසර්ච් එකක් අවශ්‍යයි. ඒක එහෙම ලියවිලා තියන එක පිටුපස තියනවා හැදෑරීමක්. ඒ නිසා කතාවක් සමාජ අර්ථික දේශපාලන දැලක පටලන්න තමයි රිසර්ච් එක අවශ්‍ය වෙන්නෙ. එහෙම නැති වුනොත් මේක නිකම්ම කතාවක් විතරක් වෙනවා.

කෞශල්‍ය : ලිවීමත් එක්ක ගත කරන කාලය ගැන යමක් කියන්න පුලුවන් ද?

මංජුල: නවකතාකාරයෙකුට වැකේෂන් නෑනෙ. අපි හැමවෙලේම ලියමින් ඉන්නෙ නැති බව ඇත්ත. නමුත් අපි වැකේෂන් එකකට ගියත් ලියන්නෙකුගේ මානසිකත්වයෙන් ගැළවෙන්න බැහැ. මුහුදු වෙරළකට ගියත් බාර් එකකට ගියත් අපි දේවල් දකින්නෙ අත්විඳින්නෙ ලියන්නෙකුගෙ ඇසින්, ලියන්නෙකුගෙ ආත්මයෙන්. මාත් එක්ක ඉන්න කෙනා වීදුරුව අල්ලන විදිහ, බොන විදිහ එයා වේටර් කෙනෙක් එක්ක සම්බන්ධ වෙන විදිහ දැන් මේවා පේන එක නවත්තන්න බැහැනෙ. ඒකයි මම කිව්වෙ ලියන්නෙකුට වැකේෂන් එකක් නෑ කියල. හැබැයි මම පිළිගන්නවා මේකෙ එක එක තල තියනවා. දැන් පොතක අවසානයට ළං වෙනකොට මම දවසකට පැය දහ අටක් විතර පොතත් එක්ක ඉන්නවා. මේක අදහස් වේගයෙන් ගලන වෙලාවක්. සමහර වෙලාවට මගෙ බෙල්ලෙ ඉඳන් පිට වෙනකං හිරි වැටිල, ඒත් අත් වැඩ කරනවා. මං සාමාන්‍යයෙන් වැඩ කරන්නෙ මේසෙ. මේ වගේ කාලෙට සමහර වෙලාවල් තියනවා මං පොත් රාක්කෙක එක තට්ටුවක පොත් අයින් කරල ලැප්ටොප් එක එතන තියාගෙන හිටගෙන ලියන. මොකද මොන තරං අසීරු වුනත් මේ වෙලාවට ලියන එක නවත්තන්න බැහැ. සාමාන්‍යයෙන් පොතක් අවසානයට ළං වුනාම මාස තුනක් විතර මේ විදිහට වැඩ කරනවා. මේක බොහොම ආවේශකර කාලයක්. ලියන්නා කියන පැවැත්මේ උපරිම මොහොත තමයි මේ. නමුත් ලියන එකම විතරක් නෙමේ මේ කාලය තුළ කරන්නෙ. වෙන් වෙන්ව ලියල තියන පරිච්ඡේද සහ කොටස් එකට එකතු කරන එකත් ලිවීම තරම් ම අසීරු දෙයක්. වඩාත්ම අමාරු දේ ලියපු දේවල් කපා ඉවත් කිරීම. ඉතින් මේ විදිහට වැඩ කරද්දි වරින් වර දවසක බ්රේක් එකක් අරන් දිග නින්දක් ගන්නවා. ඒක ඇත්තටම ඒ වෙලාවට ශරීරය ඉල්ලන එකක්. මෙහෙම නොවන කාලෙට කියවීමට ලිවීමට දිනපතා කාලයක් වෙන් වෙනවා. අනිත් එක ලියනවා කියන එකේදි සමහර දවසට පැය ගානක් ගත කරල තියෙන්නෙ එක වාක්‍යයක් වෙනුවෙන් වෙන්න පුලුවන්. එහෙම නැත්තං එක වාක්‍යයක් ලිවීම වෙනුවෙන් කරන හැදෑරීම වෙනුවෙන් වෙන්නත් පුලුවන්. සමහර වෙලාවට ලියන නවකතාවක පරිච්ඡේදයක් ගැන හිතමින් ලී කොටයකින් එක එක දේවල් නිර්මාණය කරන එක වෙන්න පුලුවන්.

කෞශල්‍ය:පොඩ්ඩක් ඒක ගැන තව ටිකක් විස්තර කරන්න පුලුවන්ද? ලී කොටයක් එක්ක හැප්පෙමින් මේ කරන දේ ලිවීමත් එක්ක සම්බන්ධ වෙන හැටි.

මංජුල: ඒක එක්තරා විදිහකට මං රිලැක්ස් වෙන්න කරන දෙයක්. කැලේට ගිහිං අජීවී දර කොටයක් අරන් ඇවිත් මං ඒකත් එක්ක හැප්පෙමින් ගත කරන කාලය මට හිතන්න ගොඩක් උදව් වෙනවා. මං ගෙදර ගැරේජ් එකේ පොඩි වර්ක්ෂොප් එකක් හදල තියෙන්නෙ. ඒකෙ අවශ්‍ය කරන ටූල්ස් තියනවා. මං මේ වුඩ් කාර්විං වැඩේ ප්‍රංශෙට ආවට පස්සෙ විධිමත්ව ඉගෙන ගෙනත් තියෙනවා. නමුත් ඒක මූලිකවම හිතමින් නිදහසේ කරන දෙයක්. ඒ වුනාට ඉතින් අන්තිමට යම් දෙයක් ඉතුරු වෙනවා. මං ඔය බෙල්ලෙ දාන දේවල් එහෙම මම ම හදපුවා. එහෙම දේවල් තමයි මම යාළුවෙක් මුණගැහුණම තෑගි හැටියට දෙන්නෙත්. මොකද ඒ පුංචි ලී කෑල්ලත් එක්ක මම ගත කරපු කාලයක් ශ්‍රමයක් තියනවා. ඒ නිසා ඒක මං හිතන්නෙ හොඳ මතකයක්.

කෞශල්‍ය: ඇත්තටම ඒක හරිම සිත්ගන්නාසුළු දෙයක්. ඉතින් අවසාන වශයෙන් මට කියන්න නවකතාකාරයෙක් හැටියට ඔබ ලිවීම විඳින්නෙ කොහොමද? ඒ විඳීම මොනවගේ දෙයක් ද?

මංජුල: එක්තරා විදිහකට ගත්තම ඒක අතිශය වේදනාකාරී දෙයක්. කිසියම් චරිතයක් ලියද්දි අපිට ඒ චරිතයට අනන්‍ය වෙන්න සිද්ධ වෙනවා. ඒ විදිහට හිතන්න වෙනවා. ඒ විදිහට දේවල් අත්විඳින්න වෙනවා. හිතන්න, අපි ස්ත්‍රී චරිතයක් නිර්මාණය කරනකොට අපිට ස්ත්‍රියක් වෙන්න වෙනවා. අප තුළ තියන ස්ත්‍රී ආත්මය අවදිවෙනවා. එහෙම නැති කෙනෙකුට ඒක කරන්න බැහැනෙ. අපි මාර පිරිමි කියල හිතන් හිටියට එතෙන්දි අපේ ජෙන්ඩර් එක ප්‍රශ්නගත වෙනවා. ඔයත් නවකතාකාරයෙක් හැටිය මේක හොඳටම දන්නවනෙ. මේ විදිහට විවිධ චරිත වල ආත්මයට ඇතුල් වෙමින් ගත කරන කාලයේ විශාල වේදනකාරීබවක් තියනවා. අනිත් අතට මේකෙ ආශ්වාදය තියෙන්නෙත් මෙතනමයි. ඒ ඇරුනම සතුට කියල වෙනම එකක් නැහැ. දැන් ඔය සමහරු කියන්නෙ ලියන කාලෙ මාර දුකක් වින්ද පොත පළ වුනාම හරිම තෘප්තියක් දැනෙනවා කියල. මට නං ඒක තේරෙන්නෙ නැහැ. නවකතාවක් ලිවීමේ ආශ්වාදය තියෙන්නෙ ඒකෙ චරිත ඒ හැඟීම් එක්ක ගත කරන කාලයේ අත්විඳින වේදනාව ඇතුලෙමයි. ඒ නිසා තමයි මං නැවත නැවත නවකතා ලියන්නෙ.

නවකතාකරුවෙක් ලෙස ලිවීම තුළ මංජුල අත්විඳින සංවේදනා, ඔහුට දැනෙන හැඟීම් සහ ඔහුගේ භාවිතයන් හා තාක්ෂණයන් අප මෙතෙක් හමු වී ඇති අනෙකුත් නවකතාකරුවන් හා කාරියන් ගේ කතාබහ ද අපට නැවත සිහිපත් කරවයි. මේ හැම කෙනෙකු ම ලිවීම තුළ පවතින ආකාරයේ සුවිශේෂීත්වයන් හා සමානකම් ඇත. එසේම නවකතාකරුවෙකුගේ වැකේෂන් නැති ජීවිතය ගැන මංජුලගේ හෙළිදරව්කිරීම් අපට නවකතා ලිවීමේ සෞන්දර්යය ගැන යළි සිතා බැලීමට බලකරයි.


Reply all
Reply to author
Forward
0 new messages