සුගතදාස දෑස් අපරිමිත දුෂ්කරතාවයෙන් හැර ගන්නට තැත් දරමින් සිය හිස අසල වූ ජංගම දුරකතනයේ තිරය දල්වා එහි සටහන් වේලාව බලන්නට විය.
6.28 am
“මම තව දවසක් වෙනුවෙන් පණ පිටින් ඇහැරිලා! “
සුගතදාස අනන්ත සිහින මැද්දේ කිසිදු සිහිනයක් මතක් කර ගත නොහැකි ගොළුවෙකු සේ සිය ගෙවී ගිය රාත්‍රියේ චමත්කාරය ආවර්ජනය කර ගැනීමට දුර්වල උත්සාහයක යෙදුනේය. දෑස් සම්පූර්ණයෙන් හැරුණු මොහොතේ දේදුන්නේ ආලෝක ධාරාවන් අතරේ ඇති වර්ණාවලිය ඔහුට දිස් වෙයි. එහි සැඟවෙන්නට තැත් දරන සමනල රෑනක් මතු වෙයි.
“මා වියපත් බවට සාක්ෂි සපයන පරණ සිහින අමතක වේවා! අලුත් සිහින අරං ඔබ සපැමිණේවා!! වෛවර්ණ අලුත් දේදුන්නක්…!!! “
සුගතදාස දේදුන්න දිගේ පරිගනක මේසය වෙත හබල් ඔරුවක හබල් ගසන්නා සේ දෑත් රටාවකට චලනය කරමින් පාවී ගියේය. ඔහු පසුපසින් සමනල රෑනක් තටු ගසමින් ඇදී ගියේ රිදී කැන් දහරක් විහිදුවමිනි. දිනපතා පාන්දර පරිගනකයෙන් වෑහී සිය යහන් ගබඩාවට ඇතුළු වන මේ රහස් දේදුන්න සුගතදාස එලාම් තබා ඇති ඕනම වේලාවකට මිනිත්තු දෙකකට පෙර වැටේ.
අනේ බලනුව වර්ණාවලිය
යමහලකි මා කවි සිත
ඇවිලී දැවී යනු ඇති අබතුර
නුඹ හැර වෙන කවුරු
ඉසිත් සුළු දිය අහස මුදුන සිට?
-සුගතදාස වලිමුනි
හනි හනිකට මුහුණු පොතේ කවි පිටුවට ඇතුළු වූ සුගතදාස දවසේ වැඩ අරඹනු වස් දේදුන්නට ලයාන්විත කවි වදන් පෙලකින් පිළිතුරු බැන්දේය.
දේදුන්න අතුරුදන් විය! එතෙක් අහස ගැබ්බරව හුන් ආදර වැහි වළාකුලෙන් වට වැස්සෙන් මුළු ලොවම තෙමී යන්නා සේ සුගතදාසට දැනුණි. හදවතේ හඩ මේඝ අකුණු සේ ලබ් ඩබ් හඩින් මුර ගාන්නට විය.
“ආදරයට තැනක් අවකාශයක් නැත. කාලයක් නැත. මායිමක් සීමාවක් නැත. වයසක් නැත. පරණ වන්ට වන්ට වයින් රසය! “
දැන් කාමරයේ දොර පියන් හැර දමා නිදහසේ කුටුම්බ ලෝකය හා සබැඳී ජීවිතය පටන් ගැනුමට හැකිය.
“මෙතරම් සුන්දර ප්‍රායෝගික ආදරයක් මා වෙත ළඟා කර දුන් දෙව් සමිඳානනි- මා ඔබගේ ඇකයේ… මුහුණු පොතේ තුරුලේ නැලවෙමි! වාසනාව නම් විසි එක් වැනි සියවසේ අවසානය වනතුරුත් මිනිස් හිතේ හඩ නැගෙන මේ සිතුවිලි වෙනත් කිසිවෙකුට අසාගත හැකි චිත්ත-චෞර යන්ත්‍රයක් තවමත් නිපදවා නොතිබීම යි. දෙයියන්ගෙ නාමෙට එබඳු යන්ත්‍රයක් මගේ ජීවිත කාලෙ තව ඉතිරි වසර දහ දොළහට පෙර නම් නොනිපදේවා!! දෙවියන්වහන්සේ ඒකට ඉඩ නොතබන සේක්වා!!! ඔබවහන්සේ ගේ අත්වරදකින් හෝ එබන්දක් නිපදවන්නට මිනිසා සමත් වූ දවසක අවසන් වන කාරණා දෙකක් ඇත. එකක් මා වැනි සුන්දර තක්කඩියන් කවි ලිවීමය. අනෙක ගෙදර බිරිඳට නොදැනී අන් අඹුවන්ට පෙම් කිරීමය! මේ දෙකම මට මහා අසිරියකි. මේ දෙකම නොපවතින්නට මා ද නොපවතිනු ඇත. දොරගුළු ලා ලැපය ඉදිරියේ වාඩි ගත් සෑම විටකම මගේ විනෝදය කිසිවෙකුටත් සොරා ගත නොහැකිය. දෙවියනි ඔබ පමණි මාගේ විනෝදය දන්නේ.”
අදේවවාදියෙකු වූ සුගතදාස මොහොතකට නිහඩව සිතින් දෙවියන් යාඥා කරන්නේ මේ ප්‍රාර්ථනාව සඳහා පමණි. දෙවියන් විශ්වාස නොකරන හෙතෙම දෙවියන් විශ්වාස කරන අනෙකුත් අය නිසාවෙන් වැරදීමකින් හෝ තමන් වැරදි නම් විය හැකි ආපදාවකට කල් ඇතුව සූදානමක් ලෙස මෙලෙස රහසිගත යාඥාවක යෙදීම දැන් කලක සිට කරගෙන යයි.
එකවර දෙදෙනකුට පෙම් කළ හැකිද? නොහැක. නමුත් ඒ එකම විදියට පෙම් කරන්නේ නම් පමණි. වෙනස් විදිවලට පෙම් කරන්නේ නම් දෙදෙනකුට නොව ඕනෑම තරමකට පෙම් කළ හැකිය. රහස වන්නේ පෙම් කරන විදිය එකිනෙකට වෙනස් වීමයි! ඵලය ප්‍රේමයමයි!!
දිනක් සුගතදාස සිය දින සටහන් පොතේ එවැනි සටහනක් තැබීය. පසුව එය කවියක් ලෙස මුහුණු පොතේ කවි පිටුවේ පළ කර දින සටහන ඉරා පුළුස්සා දැම්මේය.
එකවර දෙදෙනකුට පෙම් කළ හැකිය!
දෙවිදියකට පෙම් කළ යුතුය සිහියෙන්
බිත්තර දෙකක්
දෙවිදියකට කෑ හැක
එකක් තම්බා
අනෙක බුල්ෂයි
බහිස්‍රාවී ඵලය
එකම තීව්‍රතාවෙන්
දුර්ගන්ධය!
-සුගතදාස වලිමුනි
ඩයමික්‍රොන් එම් ආර් මිලි ග්‍රෑම් තිහේ පෙති යුගල කටට හලා ගත් හෙතෙම විනාඩි විස්සකට පසු උදෑසන ආහාරයට සූදානම් විය යුතු බැවින් යහනින් නැගී කාමරයෙන් එළියට ඇවිද ගියේ මුළුතැන්ගෙය වෙතය.
සුගතදාසට දැං ප්‍රශ්නයකට ඇත්තේ තම සෞඛ්‍යය පමණි. දූ දරුවන්ට සියළු යුතුකම් ඉටු කොට ඇති හෙයින් ද ඔවුන් නැවත ලංකාවට ඒමක් සිදු නොවනා බැවින් ද ඔහුට සිතීමට කාරණා ඉතිරිව ඇත්තේ ස්වල්පයකි. එතරම් සැහැල්ලුවක් වුව ද ජීවිතයට දරා ගනු නොහැකිය. ජීවත් වීමට කිසියම් බරක් ඇවැසිය. හඹා යාමක් ඇවැසිය. මරණය තෙක් ඒ බර රැගෙන යායුතුය. හඹා යා යුතුය.
සුගතදාස වලිමුනි සිය සැන්දෑ සමයේ ලේඛන වෘත්තියට වන් මල් සාප්පු හිමියෙකි. ඔහුගේ බිරිඳත් අගනුවර ප්‍රසිද්ධ කාන්තා විදුහලක උප විදුහල්පතිනි ධූරයට පත්ව විශ්‍රාමිකව සිටින්නියකි. ඇය නිතරම තම අත් බෑගය සකස් කරමින් සිටින්නී කොයි ගමනක යන්න යෙදුනත් තම සාරියට ඇඳුමට ගැලපෙන ලෙස අත්බෑගයක් තෝරා ගැනීමටත් ඒ තුළට ඈ නිරන්තරයෙන් ළඟ තබා ගන්නා තමන්ට ඇවැසි යැයි හැඟෙන සියළු අඩුමකුඩුම තැන්පත් කරන්නටත් පැය භාගයක කාලයක් වෙන් කරන්නියකි. ඇගේ මේ අත්බෑග් හුටපටය වලිමුනිට ඈ සමග විවාහ වූ කාලයේ පටන්ම පවත්නා නොතේරෙන පුරුද්දකි. කොයි ගමනක් යන්න සූදානම් වුවත් ඇය හැඩවැඩ වී තම අත්බෑගයේ ද්‍රව්‍ය තැන්පත් කරන්නට ගන්නේ ඊට පෙර ඒවා අසුරා තිබූ අත්බෑගයෙනි. මේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නාමාවලිය කාලයෙන් කාලයට වෙනස් වූ නමුදු දැං ඇය ඒවා බැංකු පොත්-ටෙලර් කාඩ්-කරාබුනැටි පිරවූ කුඩා කුප්පියක්-ඕඩිකොලොං කුප්පියක් -සිද්ධාලේප බඳුනක්-පැරසිටමෝල් කාඩ් එකක්-ලේන්සු කීපයක්-පෑනක්-කුඩා සීවලී දිනපොතක්-ධම්ම පදය පොත් පිංචක්-ජංගම දුරකථනයක්-මුහුණ පිසින තෙත් කඩදාසි කීපයක්-ගමන් බලපත්‍රය-ජාතික හැඳුනුම්පත-මාරු කාසි සහ රුපියල් දෙතුන්දහසක මුදල් නෝට්ටු යනාදී දේවලට පමණක් සීමා කර ඇත.
වලිමුනි සහ බිරිඳගේ දූවරු දෙදෙනාම දැන් කැනඩාවේ පදිංචිව පවුල් වී ඒ රටවලම ජීවිතය ගෙවන්නට පෙළඹුනු අය වෙති. වසරකට සැරයක් පමණ වලිමුනි සහ බිරිඳ කැනඩාවට යන්නේ මාස කීපයක් කල්ගත කරන්නට ද සූදානමිනි. දූවරුන්ගේ දරුවන් උපන් අලුත නම් වලිමුනිලාට නොයෙකුත් ආකාරයේ ගැටළු පැන නැගුනේ මුනුපුරන් මිනිපිරියන් හදා වඩා ගැනීමට දූවරුන්ට උදව් උපකාර කරන්නට නිරන්තරයෙන් කැනඩාවට යන්නට එන්නට සිදු වීමෙනි. මාස කීපයකින් වීසා අලුත් කරගන්නටත් නැවත ඒවා නීත්‍යානුකූල කරගන්නටත් එහෙට මෙහෙට දුව පැන ගත කළ ඒ කාලය තරම් දුෂ්කර වූ අමිහිරි යුගයක් ඔවුන් දෙපලගේ ජීවිත කාලවලම නැත. ඔවුන් ඒ කාලය සිහි කරන්නේ ද ඉමහත් පීඩනයකිනි. දැං දරුවන්ගෙ දරුවන් ලොකු මහත් නිසා ඒ අපල කාල ගෙවී ගොස් සැබෑ නිස්කලංක ජීවිතයක් ඔවුනට උදා වී ඇත. මල් සාප්පුව බද්දට දී ඇති හෙයින් වලිමුනිට සැඳෑ සමයේ ආර්ථිකය පිළිබඳ කිසිදු ගැටළුවක් නැත. යලට මහට දූවරුන් ද ඩොලර් කීපයක් වලිමුනිලගේ බැංකු ගිණුම් වෙත බැර කරති. වලිමුනි වඩාත් කැමති කැනඩාවේ සිට ලංකාවට එද්දී අතේ ඩොලර් අරන් එන්න බැවින් ඩොලර් මාරු කරගැනීම වැනි දේ ද ඔහුට ඉඳහිට කරගන්නට සිදු වෙයි. ඒ දේවල්වලින් වලිමුනි අසීමිත තෘප්තියක් ලබයි.
සුගතදාස මල් සාප්පුවේ ආදායමින් දූවරු දෙදෙනාටම කැනඩාවට ගොස් උසස් අධ්‍යාපනය ලබා ගැනීමට පහසුකම් සැලැස්සුවේ මීට වසර දහයකට දොළහකට පමණ පෙරය. ඒ යුගය අද මෙන් අන්තර්ජාල පහසුකම් සරුවට ව්‍යාප්තව නොතිබූ හෙයින් ගුවන් තැපෑලේ පිහිටෙන් සහ දුරකථන ඔස්සේ සන්නිවේදන අවශ්‍යතා සපුරා ගැනුණි. අධ්‍යාපනයේ කඩඉම් එකින් එක පසු කරද්දී ඔවුනට ඇවැසි ලෙස තම ජීවිත සකස් කර ගැනීමේ නිදහස ද ඒ ආකාරයෙන්ම ලැබුණෙන් ඔවුන් සිය ජීවන සහකරුවන් ලෙස තෝරා ගත්තේ කැනඩා පුරවැසියන් මය. මේ කාලයේ දී සුගතදාසත් බිරිඳත් නිරතුරුවම දූවරුන්ට තම සිතැඟි ලියා යවන්නට උත්සුක වූවෝය. මුල දී කිසියම් අහේතුක භීතියකින් ඔවුහු පෙළුන ද පසුව කාලයාගේ ඇවෑමෙන් දරුවන්ගේ තේරීම ඔවුනගේ යහපතට හේතු වනු දැකීමෙන් සතුටට පත් වූහ. ඔහු මල් වලට කොතරම් ආදරය කළාද එතරම් ම සිය දියණියන්ට ද ආදරය කළේය. මල් පරව යන්නට නොදී කල් තබා ගැනීමේ සාත්තු සප්පායම් කදිමට දන්නා ඔහු එසේම දියණියන්ට ද නිරන්තර අවවාදයෙන් ඔවුන් යහපත් දරුවන් ලෙස සමාජයේ ජීවත් විය යුතු ආකාරය මල් ආශ්‍රයෙන් පැහැදිලි කරන්නට උත්සුක විය. ඒ කාලයේ විශේෂයෙන් සුගතදාස නිරතුරුවම දූවරුන් දෙදෙනාට ලියුම් ලියා යැවීමටත් නොයෙක් උපදෙස් සරලව විස්තර කරන්නටත් ගත් උත්සාහයේ ප්‍රතිඵල ලෙස ඔහුගේ ලේඛන හැකියාව සියුම්ව දියුණු වන්නට ගත්තේ ඔහුගේ ද නොදැනීමෙනි. වරක් දූවරු සුගතදාසට දන්වා එවූයේ ඔහු එවා ඇති සියළු ලියුම් ඔවුන් එකතු කර තබා ඇති බවත් ඒවා සංග්‍රහ කොට පොතක් මුද්‍රණය කරන්නට තරම් ඒවා සාරගර්භ බවත් ය. මේ අදහසින් කැළඹුනු සුගතදාස එතැන් පටන් ලේඛනය ගැන සිය අවධානය දැඩිව යොමන්නට පටන් ගත්තේය. ඔහු ජීවිතයේ සෙවූ බර ඔහුට හමු වීමේ දොරටුව විවෘත වූ බැව් ඔහුට දැනුණි. නිකම්ම නිකම් මල් සාප්පු හිමියෙකු ලෙස මිය යනවාට වඩා යමක් ඔහු මියැදීමෙන් පසු ලෝකයාට ශේෂ විය යුතුයැයි අදහසක් මෙලෙස සිතේ හටගත්තේය.
මල් ශාලා හිමියෙකු ලෙස සුගතදාසගේ ජීවිතය ඇරඹෙන්නේ සිය පියාගේ ව්‍යාපාරය පවත්වා ගන්නට සමත් වූ පවුලේ එකම පිරිමි දරුවා වූ හෙයිනි. සුගතදාසගේ අක්කා වෛද්‍යවරියක් වන අතර නංගී නීතිඥවරියකි. තමා ඔවුන් මෙන් සමාජයේ පිළිගත් රැකියාවක නියුතු නොවීම පිළිබඳ සියුම් කනස්සල්ලක් ද සුගතදාස වෙත ඒ කාලයේම රෝපණය වුණි. එනමුත් ව්‍යාපාරිකයෙකු වූ හෙතෙම මුදලින් බලයෙන් ඔවුන් අභිබවා සමාජයේ ජීවත් විය. සුගතදාස වලිමුනි කාලයක් හේවුඩ් කලායතනයේ සංගීතය හැදෑරු නමුත් ඉන් ඉදිරියට යෑමක් ඔහුගෙ පියා බලාපොරොත්තු නොවූයෙන් ව්‍යාපාරික කටයුතු සඳහා සිය කාලය යොදවන්නට සිදු වූ නමුදු ඔහු නිරතුරුවම දැනුම පිපාසයෙන් හෙම්බත්ව සිටි බැව් නොරහසකි. පාසැල් අධ්‍යාපනය ද ඉතාම සාර්ථකව අවසන් කරන්නට ඔහු සමත් වුව ද රැකියාවක් හෝ වැඩිදුර අධ්‍යාපනයක් ගැන සිතන්නට ඉඩක් නොවීය. දිනක් සුදු පැහැති මලකට කහපාට සහ රතු පාට වර්ණ දියර මල් නටුවෙන් උරා ගන්නට අමුතු විදියකට සැලැස්වීමෙන් මල් පෙතිවල වර්ණ අපූරු ලෙස වෙනස් කරන්නට සුගතදාස කොලු ගැටයාට හැකි විය. ඉන් පසු ඔහුට පියාගෙන් ගැලවීමක් ලැබුණේ නැත.
ලේඛකයෙකු වීමේ සිහිනය හදිසියේම මනසේ සංසේචනය වූයෙන් ඔහු නැවත ඉපදුනාක් මෙන් සිය ජීවිතය දිහා බලන්නට උත්සුක විය.
ඔහු සිය බිරිඳගේ කුඩා පුස්තකාලයට වැදී එහි ඇති පොත් පත් වැඩි අවධානයකින් පරිශීලනය කරන්නට ගත්තෙන් ඔහුට ද පෞද්ගලික පුස්තකාලයක් පවත්වා ගැනීමේ අවශ්‍යතාවය පැන නැගුනු බව දැනුනෙන් වහා ඒ සඳහා ක්‍රියාත්මක විය. ඔහු නිර්මානාත්මක ලේඛනයට වඩාත් සුදුසු බැව් දියණියන් පැවසූයෙන් ඒ අරභයා ලාංකික ලේඛකයන්ගෙ කෘති මිලට ගන්නට එතැන් සිට පෙළඹුනි. ඔහු සිත්ගත් ලේඛකයා වූයේ අජිත් තිලකසේනය. මුල් දවස්වල අජිත් තිලකසේනට කැමති වීමේ හේතුව ඔහු තම සමීපතම මිතුරන්ට කීවේ අජිත්ට ද සාහිත්‍ය හෝ භාෂාව ගැන අබමල් රේණුවක තැකීමක් නැති බැවින් ඔහු අනුගත් මග ගැනීම තමන්ට ද සුදුසු යැයි යනාදී වශයෙනි. ඒ කාලයේ ඒ වැනි අපරිණත කතා සුගතදාස කීවද දැන් ඒවා කියන්නේ නැත. දැං කියන්නේ කාටවත් නොතේරෙන අමුතු හේතු කීපයකි. කොටින්ම අජිත් තිලකසේන තියා කිසිවෙකුගේ නමක් තම මුඛයෙන් ප්‍රකාශ නොකරන්නට ප්‍රවේසම් වෙයි.
අද කාලයේ ලේඛකයකු වීම යනු එක්තරා විදියක තක්කඩියෙකු වීම යැයි ඔහුට සිතී ඇත්තේ වරක් දෙවරක් නොවේ. පුවත්පත්වල නිර්මාන පළ කරගන්නට දත්මිටි කාගෙන වැර වෑයම් කළ මුල් කාලේ ඔහුට පත්තර යාලුවන් විශාල ප්‍රමාණයක් ඇති කරගන්නට හැකි වීමෙන් සුගතදාස සීඝ්‍රගාමී ලෙස ලේඛකයකු බවට පත්කරවීම එම සංස්කාරක-විචාරක මහත්තුරුන්ගේ ද ප්‍රමුඛ ම ව්‍යාපෘතියක් බවට නිතැතින් පත් විය. සුගතදාසට බෝතල් පාටි සඳහා අතමිට දිග හැර වියපැහැදම් දැරීමට හැකි වීම ඔවුනට ආශිර්වාදයක්ම විය. එහෙත් ඒ කිසිවක් සිදු නොවූවා සේ නිහතමානී ලෙස හැසිරීම සුගතදාසට එතරම් කනස්සල්ලක් ගෙන නොදුන්නේය. එම ගුණය විශ්මිත ලෙස පත්තර මිත්‍රයන්ගේ අමන්දානන්දයට ද හේතු විය. ඔවුන් සියල්ලම සුගතදාස දිරි ගැන්වූයේ ඊළඟ වසරේ ජාතික කවියා බවට රාජ්‍ය සම්මානයට පාත්‍ර වන බව නොඅනුමාන බවයි. එබඳු විටක දී දුප්පත් පත්තර යාලුවන් අමතක නොකළ මැනවැයි ඔවුහු නිතර සුගතදාසට පින්සෙණ්ඩු වූහ.
සුගතදාසගේ කවි කීපයක් ගීත බවට පරිවර්තනය කර තරුණ ගායක කණ්ඩායමක් ලවා රැප් කර ගායනා කරවා බොහෝ ඉක්මණින් ජනප්‍රිය තලයේ පදරචකයෙකු බවට පත් කරන්නට ව්‍යාපෘතියක් පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක සේවය කළ අලුත හමු වූ මිතුරෙකු ගෙන් යෝජනා විය. ඒ වෙනුවෙන් බ්ලැක් ලේබල් බෝතල් කීපයක් කඩා සංග්‍රහයක් ද සුගතදාසගේ නිවසේ දී පැවැත් වුණි. රුපියල් මිලියන කීපයක් ඒ වෙනුවෙන් වියදම් කරන්නට සිදු වන බැව් ඇසීමෙන් එය පසුවට කල් තබන්නට සුගතදාසට ගනදෙවි නුවණ පහල විය. ඇඟපත සුරුබුහුටි ඇහැට කණට පේන ගැටිස්සියකට නම් එබඳු පද රචනා ජනප්‍රිය කරගැනීමට වෙහෙස වීමට ඇවැසි නොවන බවත් ඒවා තනු දමා ස්වේච්ඡාවෙන් ගායනා කරන්නට කොලු රෑන් සංගීත ලෝකයේ සිටිනා බවත් සුගතදාස වැනි අයට එබන්දක් ඉටු කරගැනීමට ලෝස් නැතිව සල්ලි විසි කරන්නට සිදු වන බවත් වැඩිදුර පැහැදිලි කෙරුණි. එවැනි මාකටිං වැඩ කරගැනීමට ඕනෑම තරාතිරමක අය මේ මාධ්‍ය ලෝකයේ ඉන්නවා නේදැයි දැනගැනීම ම සුගතදාසගේ ඉමහත් සංතෝෂයට හේතු වූවා සැක නැත.
තවත් ඉංගිරිසි පත්තර මිත්‍රයෙකු යෝජනා කළේ මේ වසරේ දී හොඳම කවියා බවට පත් වී ඊළඟ වසරේ හොඳම කෙටිකතා සංග්‍රහයට සම්මාන ලබා ඊළඟ වසරේ දී හොඳම නවකතාවට ද සම්මාන ලබා ගැනුමට සැළසුම් සහගතව වැඩ කටයුතුවල යෙදිය යුතු බවයි. ඇවැසි නම් මේ වසරේ ලක්ශාන්ත අතුකෝරලගේ එලිදැක්වීමට නියමිත කවි පොත ප්‍රමාද කිරීමට පවා තමන්ට හැකි බැව් ඔහු විස්තර කරන ලදී. මේ සියළු ජයග්‍රහණ සඳහා ලිවීමට වඩා වැදගත් වන්නේ සම්බන්ධතා වර්ධනය කරගැනීම බැව් ද සම්මාන ලබා ගැනීමේ අදෘශ්‍යමාන උපක්‍රම ද ඇති බැව් නොවළහා හෙලි කරන්නට ඔහු සමත් වූයෙන් සාහිත්‍ය අම්බරයේ සුපර්නෝවාවක් වීමේ සිහිනයක් හදිසියේ සුගතදාසගේ සිතේ පහළ වීම ඔහු මැඩ ගත්තේ ඉමහත් වැර වෑයමිනි.
“මේ වයසට ඔච්චර දේවල් ඕන්නැහැ ඕං” යැයි කියා බොහෝ සුහද ලෙස පිටට තට්ටුවක් දමා සුගතදාස එම පත්තර මිතුරා හරවා යැව්වේ රෙඩ් ලේබල් බෝතලයක් ද අත පත් කරමිනි. ඉංගිරිසි පත්තරවල සංස්කාරකවරු රෙඩ් ලේබල් බොන්නට ඔතරම් ගිජු මන්දැයි සුගතදාසට සිතා ගත නොහැකි විය.
මේ වන විට අනෙකුත් කලා ක්ෂේත්‍රවල සුපර්ස්ටාර් තරග මේනියාවක් හටගත්තෙන් සාහිත්‍ය ක්ෂේත්‍රය ද එබඳුම ක්ෂණික කෙටි ක්‍රම ඔස්සේ සාහිත්‍යවේදීන්, නවකතාකරුවන්, කවියන් බිහිකරමින් සිටිනා බැව් සුගතදාසට සෙමින් වැටහිනි. ඇඟ පත කෙට්ටු-ස්ලිම්-පොත්ත රතු-මිටි කෙල්ලන් ලියන කියන දේවල් අතිශය විශිෂ්ට සාහිත්‍ය හා කලා නිර්මාන ලෙස සමාජගත වීම ද ජනප්‍රිය වීම ද එක්තරා අයුරක අභියෝගයක් ලෙස සුගතදාසට පෙනුණි.
කෙසේ වුවද සැබෑ ලේඛකයකු වීමේ පරමාර්ථයෙන් ඔහු අනවරතව නිර්මානකරනයේ යෙදෙමින් සතතාභ්‍යාසයේ නිමග්නව සිටිනා කාලයේ කුප්‍රකට සාහිත්‍ය විචාරක උපදෙසකින් සීසේරියන් ක්‍රමයට කෙටිකතා පොත් කීපයක් එකවර බිහි කර ඉන් නොනැවතී අන්තර්ජාලයේ කවි කෙටිකතා ලියා පළ කරන්නට යොමු වීමත් සමග ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස්ම මාවතකට අවතීර්ණ විය.
උදෑසන ආහාරයට මුං ඇට තම්බා ඇත්තෙ යම්තමට තෙම්පරාදු කරය. ආහාර ගැනුමෙන් අනතුරුව සිය කාමරයට වැදී මුහුණු පොතේ කවි පිටුවට අවතීර්ණ වන සුගතදාස නැවත රාත්‍රී අට නවය වන තුරු දැක ගන්නට හැකි වන්නේ හවස හතරට පමණ දිවා ආහාරයට කාමරයෙන් එලියට එන විට පමණි. ඒ අතරතුර බිරිඳ පිලියෙල කර දෙන තේ කෝප්ප නිවී ඇල්වී යන බැවින් ඇය ඒවා ඉවත් කරමින් අලුත් තේ කෝප්ප කාමරය අසල ආලින්දයේ මේසය මත තබා යන්නී නොබී ඇති සෑම කෝප්පයක් පාසාම තුටු වන්නීය. මිනිහෙකුට මේ තරම් කාර්යබහුල විය හැකිදැයි ඇයට සිතා ගත නොහී තුටු වනු හැර අන් විකල්පයක් ඈ වෙත නැත. ඈ ප්‍රිය කරන්නේ තම අත්බෑගයේ අඩුමකුඩුම පිළිවෙලට සකස් කර සූදානම් කර තැබීමටය.
සෑම කෑම වේලකට පසුවම ග්ලූකෝමේට් මිලිග්‍රෑම් පන්සීයේ පෙති දෙකක් සුගතදාස පානය කරයි. දිනපතා විනාඩි තිහක් වේගයෙන් ඇවිදීම කළ යුතු වුවත් දියණිය ලැප්ටොප් යන්ත්‍රය ගෙනැත් දුන් මීට වසර තුනකට පමණ පෙර යම් දිනෙක සිට ඒ ව්‍යායාම ගැනීම සදහටම නතර විණි. ඔහු වෙනුවෙන් ව්‍යායාම කිරීමට ඕනෑම වෙලාවක සැදී පැහැදී ඇති ඕර්බිට්‍රැක් යන්ත්‍රයක් යහන්ගබඩාව කෙළවරේ තාවකාලික ඇඳුම් එල්ලනයක් ලෙස භාවිතා වෙයි. කලාතුරකින් දිනක දී ව්‍යාඝ්‍රා පෙත්තක් බීමෙන් පසු මුහුණු පොතේ කවි පිටුව වෙත යන සුගතදාස ලියන ශෘංගාරාත්මක පෙම් වෑහෙන කවි නිසාවෙන් වයස් බේදයකින් තොරව කිවිඳියෝ සිහිසුන්ව තරගයට පිළිතුරු වැල් කවි ලියන්නට පෙළඹෙති. වචන අස්සේ වල්කම් හංගා උපමා රූපක සමායෝජනය කිරීම කොතරම් කවි කමක්දැයි සුගතදාසට දැන් දැන් තේරෙන්නේ මිනිසුන් ගැහැණුන් මතුපිටින් පෙන්වනවාට වඩා කොතරම් ස්වාභාවික ලෙස වචන ඔස්සේ කෙරෙන වලත්තකම් වලට ප්‍රිය කරන්නේ ද යන්න අත්දැකීමෙන් දැනීමෙනි.
මේ දැනුම ම සාහිත්‍ය නොවේදැයි නොදන්නේ මී හරකුන්ය! සුගතදාස එසේ සිතයි.
බිරිඳ සමග කතා නොකරන කවි බසක් දේදුන්නෙන් එන සමනලියන් හා මුණු මුණු ගෑ හැකි බැව් අත්දැකීම මුහුණු පොතේ විනෝදය බව සුගතදාසට සිතෙයි. පත්තර කඩමාලු වල පළ වූ දහස්ගණනක් කවි නිර්මාන වලින් සුගතදාස නොලත් ප්‍රහර්ෂය මුහුණු පොතේ ලියැවෙන අද වැසිබර අහසකි යන වැකියෙන් පවා උන්මාද වන කාව්‍යක්කාර සමනලියන්ගේ ඇඟිලි තුඩු අගින් වෑහෙන කවි බවට ක්ෂණයකින් පත් වනු දැකීම නියම සම්භෝග ප්‍රහර්ෂයකි. සිකුරු ධාතුව උතුරා පිටාර යාමකි. ක්ෂණික කවි මෝචනයකි.
සෑම උදෑසනකම දේදුන්නක පැටලී පෙම් කවියට සුපෙම් කවිය ලියමින් සිටින සුගතදාස ගෙදර බිරිඳගේ ඇණවුමෙන් ඉඳහිට මිදුලට ගොස් පිරිසිදු වාතාශ්‍රය ලබා ගනී. ජීවිතය ගෙන යෑමට ඇවැසි ප්‍රමිතිගත බර මේ දේදුන්නෙන් සුගතදාසගේ සැහැල්ලු ජීවිතයට ලැබේ. සුගතදාස වඩාත් සතුටු වන්නේ මේ දේදුනු හුටපටය සිය බිරිඳ නොදන්නේ යැයි සිතීමටය. ඇය එබන්දක් දන්නේ නම් මීටත් වඩා ප්‍රමෝදයක් මේ රහසිගත ප්‍රේමයෙන් නො-උපදීයැයි කවරෙකුට කිව හැකිදැයි ඔහුට සිතෙයි. අතිශය ක්ෂුද්‍ර වූ හෝ ළාමක මෝඩකමක් හෝ රහසක් මොන තරම් පරිණත වූ මිනිසෙකුට හෝ ජීවත් වීමට තිබිය යුතු යැයි ඔහුට සිතෙයි. ඔහුට ජීවිතයේ සිතැඟි මල්ඵල ගන්වනු රිසි රහසිගත ඇණවුම් ලැබෙන්නේ වරදකාරී කවි සිතෙනි.
ලේඛනයට අත්හදා බැලීම් කළ මුල් දවස්වල බටහිර දර්ශනවාද පොතපතින් කියවා හැදෑරූ සුගතදාස “මම සිතමි එනිසා මම පවතිමි” යන ඩේකාට්ගේ අදහස ඉතා චමත්කාරජනක නොවේදැයි සිතුවේය. ඊටත් වඩා චමත්කාර අදහසක් දැන් ඔහුට පහල වී ඇත්තේ මුහුණු පොතේ ඇරඹුනු ජීවිතයත් සමගමය.
“මම මුහුණු පොතේ සිටිමි-එනිසා මම පවතිමි! “
දැන් දැන් සුගතදාසගේ පෙකනිවැල මවුසයේ කෙළවරින් ඇරඹී ඇත්තේ දෝයි සැක සිතෙන තරමට ජීවිතය සයිබරීකරණය වී ඇත.
බිරිඳට මෑතක සිට සුගතදාස ගේ දෙනෙත් තුළ ජීවත් වන තරුණ කොළු ගැටයා සැනසිල්ලකි. සතුටකි.
කැනඩාවෙන් එන දුරකතන ඇමතුමක ඇසෙන්නේ සුගතදාසගේ දියණියකගේ හඩය.
“අම්මී … මොනාද තාත්ති කරන්නේ? කිසිම සද්දයක් නෑනේ… ස්කයිප් ආවත් වන් මිනිට් වගේ ඉන්නේ… “
සුගතදාසගේ බිරිඳ ලෝකයක් දිනා ගත් අයෙකු මෙන් දියණියට පිළිතුරු බඳින්නීය.
“අනේ දුවේ… පිරිමින්ගේ විනෝදේ ඕක තමයි…උදේ ඉඳං රෑ වෙනතුරු වැඩ කරන එක. කෑමක් බීමක් නෑ…”
ඇය මදක් කල්පනා කර…
“ඓතිහාසික නවකතාවක්ලු ලියන්නේ…”
ප.ලි.
සුගතදාස වලිමුනි ගැන ඓතිහාසික කෙටි කතාව හකාවතී මේ දැන් ලියා හමාර කර ඇත.
ප.ප.ලි.
සුගතදාස වලිමුනි ගේ අතාත්වික කාව්‍ය සහකාරිය සහ පෙම් දේදුන්න වන සන්ධ්‍යාරාණි ගුලවිට ගැන ද කියවීමට කතාවක් ඇත. එය සුගතදාස වලිමුනි යන නාම පදය සන්ධ්‍යාරාණි ගුලවිට යන නාම පදයෙන් විස්ථාපනය කොට මෙම කතාව නෙගටිව් පටලය ලෙස ගෙන මෙහිම පොසිටිව් පටලය නිර්මානය කරගැනීමෙන් කියවා ගැනීම අභ්‍යාසයක් ලෙස පාඨකයාට බාරය. සුදුසු තැන්හි පුරුෂ ලිංග නාම පද ස්ත්‍රී ලිංග නාම පද බවට හැරවීමෙන් ඔබට කැමති ලෙස එම ප්‍රබන්ධය හසුරුවා ගත හැකිය. උදාහරණයක් ලෙස කාන්තා අත් බෑගයක් වෙනුවට පොසිටිව් පටලයට ප්‍රක්ෂේප කරගන්නට සුදුසු වන්නේ පිරිමි කාර්යාල බෑගයකි.
ප.ප.ප.ලි
අනෙකාගේ විනෝදය කිමැයි සොයමින් ලතවන්නෝ කුහකයෝ ය. කාලකන්නියෝය. තම තමන්ගේ විනෝදය සොයා ගෙන ජීවත් වන්නෝ ලෝකය දිනන්නෝය.
රතුපාට නිල්පාට කොරහැඩි දිලිසෙන සර්පයා සිය සියුම් දිගැටි දෙපෙති දිව “සුරුස්… සුරුස්” හඩින් පිඹිමින් ජනේලයේ මළකඩ කෑ යකඩ පොලු අතරින් කාමරයට සිය හිස ඇතුල් කරද්දී ගැබ්බර සඳලතා තවත් තම උදරය යහන් ගැබේ සුසුදු පලස මත සීරුවට බර කර නින්දේ පසු වූවා ය. රතු නිල් පැල්ලම් අතර රන්වන් කොරපොතු රටාවේ දිස්නයෙන් දිලිසෙන සර්ප බඳ කළු පාට ජනෙල් පොල්ලෙන් එතී පහලට චලනය වූයේ ඔරලෝසුවේ විනාඩි කටුවේ අත දෙකේ ඉලක්කම උඩින් සෙමෙන් ගමන් ගත් තරම් වේගයෙනි. සර්පයා සඳලතාගේ දෙකළවා යුගල අතරින් නොපෙනී යත්ම නිශ්ශංක මරළතෝනි දීගෙන ඇඳෙන් පනිද්දී මිරැන්ඩාගේ මන්නා පහර නිශ්ශංක සදහට නිශ්ශබ්ද කළ බැව් කිසිවෙකුත් නොදුටුවේය.
“උඹ ආවද? බැල්ලි. තොගෙන් මම නිදහස් වෙන දවසක් ළඟදිම එනවා… තෝ නිසයි මේ සේරම හෙණ පාත් වුනේ…පාහර බැල්ලි….”
නිශ්ශංක නිදිමරගාතේ කොඳුරන්නට විය. නිශ්ශංක අලුතින් ලියා පළ කරන්නට යෙදුනු කවි පොතේ අත් පිටපත ඔහුගේ ඇඳ අසළ බිම කොල ඉහිරී තිබෙනු මිරැන්ඩා දුටුවා ය.
“ඔයා නිදියන්න. මම බිම නිදා ගන්නම්. කෑ ගහන්න විතරක් එපා. උදේට කතා කරමු. “
“තෝ වේසාවි. මම දන්නවා තෝ රෑ දෙගොඩහරියක් වෙනතුරු මොනවද කරන්නේ කියලා. මහ ලොකු පක්ෂ රැස්වීම්..අනේ පල බැල්ලි. තෝයි මායි කරන විප්ලව…පරට්ටි…”
මිරැන්ඩාට දැනුනේ කුණු වූ කොත්තු රොටියක දියව ගිය අරක්කු ගඳ වහනය වන නිශ්ශංක ගේ කුස තුළින් හඹා ආ ගොරොද්දාවේ ඌෂ්ණය ය. ඈ අපුලින් කට මුහුණ අතින් පිස ලා නිශ්ශංකගේ පොරෝනය තව තවත් ඇද දමා ඔහුගේ සිරුරේ නිරාවරණය වූ පපු පෙදෙස වසා දැම්මා ය.
“නිශ්ශංක. දැං ඇති. ඔයා දැන් නිදියන්න. අපි උදේට කතා කරමු. “
මිරැන්ඩා ඇඳුම් උනා දමා නාන කාමරය වෙත ඇදුනාය. නාන කාමරය පුරා විසිරී ගිය ලේ පැල්ලම් දුටුවෙන් ක්ලාන්තව මෙන් ඇය බිත්තියේ වූ පිඟන් ගැඩොල් රටාව මතුපිට සිය වමත රූටා යවමින් කිසිවක් අල්ලා ගන්නට තැත් දරමින් බිත්තිය පාමුල උණ්ඩි වූවාය. එම ලේ මත කිසියම් පණක් ඇති පනුවන් රාශියක් දඟලන්නා සේ ඈ දුටුවෙන් ඇගේ මුළු සිරුරම සලිත වී ගියේ ය. මිරැන්ඩා නැවතත් ඇගේ දෑස් දෑතින්ම පිස දමා නාන කාමරයේ සුදු පාට පිඟන් ගඩොල් අතර ඝණව පැතිරී ඇති ඒ ලේ වැදලි බලන්නට වූවා ය.
“උඹ මට මගේ පාඩුවෙ ඉන්න දෙනව ද නැද්ද?”
මිරැන්ඩා පාං කපන පිහිය නිදි යහනේ කොට්ටයට යටින් වූ ගුදිරි මෙට්ටය අස්සෙන් වහා එළියට ඇද නිශ්ශංකගේ ගෙලට තබා තද කළා ය.
නිශ්ශංක භය බීරාන්තව මිරැන්ඩාගේ කෝපාග්නියෙන් දැවෙන දෙතුන් ගුණයක් විශාල වූ දෙනෙත් දෙස මඳ අඳුරේ බලා සිටියේ මරණ මංචකයේ සිටින මිනී මරුවෙක් ලෙසිනි. නිශ්ශංකගේ දෑස් කොතරම් විශාල වී ඇත්දැයි ඔහුට නිනව්වක් නොවීය.
“මට ආයෙමත් වේසි වේසි කියල කීවොත් මම තොගේ බෙල්ල කපනවා කපනවාමයි!”
මිරැන්ඩා ඒ වචන ටික උච්ඡාරණය කළේ දත් දෙපෙල එකිනෙක සපාගෙන තොල් එකට තද කර උගුරිනි. ඒ හඩ ආවේ ඇගේ උදරයෙන් ද විය හැක. නිශ්ශංක අසීමිත බියෙන් මුවෙන් වදනකුදු පිට නොකර ඈ දෙසම බලා සිටියේය.
මිරැන්ඩා නිශ්ශංකගේ ගෙල ඉතා සෙමින් නමුත් දැඩිව පිහියෙන් අතුල්ලා සියුම් කේෂනාලිකා කීපයක් කපා දමා මතු වූ ලේ බිඳිති මත පිහි තලයේ දාරය ඇතිල්ලුවාය.
නිශ්ශංක ඉකිගසා හඩන්නට පටන් ගත්තෙන් මිරැන්ඩා පිහිය බිම දමා ඔහුගේ ළය මත හිස හොවා හඩන්නට පටන් ගත්තීය.
නිශ්ශංක ළදරුවෙකු සේ මිරැන්ඩාගේ උරහිසේ තම හිස හොවා ඉකි ගසමින් හඩන්නට විය. මිරැන්ඩා ඔහුගේ හිස තිබූ කොට්ටය තුළ ඔබා ගත් හිසින් වැළහින්නක සේ හඩමින් ඔහුගේ සිරුර මත වැනෙන්නට වූවා ය.
නිශ්ශංක ඇගේ බරින් සිය දුබල සිරුරේ අක්වක් වූ යටිබඩ පෙදෙස නැවත සකස් කර ගනිද්දී මිරැන්ඩා ඔහු වෙතින් පෙරලී ඇඳේ ඇගේ ඉසව්වට තල්ලු වූවා ය.
“නිශ්ශංක මට ඔයාගෙන් වැඩක් නෑ. ඔයා හරි බොළඳයි….මට ඔයාව මරන්න ඕන නෑ. මට මරන්න ඕන…මහ ඇමති!”
නිශ්ශංක මිරැන්ඩාගේ මුව සිය අතින් වසා දැම්මෙන් ඇගෙ හඩ නිකුත් නොවුණි.
මිරැන්ඩා හිස් සීලිම දෙස බලාගෙන මිමිනුවාය. නිශ්ශංකට සඳලතා සිහි විය. මේ යක්ෂණියට වඩා ඇය කොතරම් සියුමැලි ගැහැණියක් දැයි සිතින් විමසමින් සිය කොපුල් තල හරහා ගලා ගිය කඳුලු සොටු සූරා පිසිමින් නිශ්ශංක නාන කාමරය වෙත ඇදෙන්නට විය. හාත්පස ඝණ අඳුර බිඳින්නට නාන කාමරයේ දැල් වූ විදුලි බුබුලත් සමගම ඔහුගේ සිතේ වූ බිය ද පහව යන්නට විය.
සඳලතා ට දින දී තිබුණේ තවත් සති දෙකකින් උදා වන පළමු බ්‍රහස්පතින්දා ය. ඈ ඉමහත් අපහසුවෙන් නානකාමරයට වැදුනාය. වෙනදාටත් වඩා බඩේ පැටියා ඇගේ මුත්‍රාෂයට පයින් අනිනා සේ ඇයට දැනුනෙන් ඈ කොමෝඩය මත සීරුවෙන් වාඩි වූවාය.
“සඳා මට මිරැන්ඩා එක්කල තවත් ජීවත් වෙන්න බෑ… ඒකි පක්ෂෙ එකෙක් එක්කල බුදියනවා. මම ඒක දන්නවා. මෙච්චර කල් මම ඒක නොදන්නවා වගේ හිටියා…”
“මට තේරෙන්නෑ නිශ්ශංක. ඔයා ගැන මම තැවෙනවා. මැරෙනවා. උපදිනවා. මේ බඩේ ඉන්න පැටියගෙ ඉරණම මොකද්ද නිශ්ශංක?”
“මම දන්නේ නෑ සඳා…මම ජීවිතේම නරකාදියක් කර ගෙන..මට කිසිම ගැලවීමක් නෑ…මට කිසි දේකට විසඳුමක් නෑ…”
“මිරැන්ඩා ගැන මම දන්නවා නිශ්ශංක…මට තේරෙන්නේ නෑ ඔයා වගේ සංවේදී කෙනෙක් එයා එක්කල ජීවත් වෙන්නේ කොහොමද කියල…”
සඳලතා ගේ මිය ගිය දේහය නානකාමරයේ කොමෝඩය උඩ වැටී සිටියදී සොයා ගන්නා විට දින දෙකක් ගෙවී ගොස් තිබුණි. ඇගේ කුස දරා හුන් දියණිය සිය ජල අටල්ල බිඳී කොමෝඩය තුළට වැටී කුණු වී තිබිය දී සොයා ගත්තේ ඇගේ සිරුර ඉවතට ගන්නා විට දී ය. සඳලතාත් ඇගේ දියණියත් කුණුව ගිය වෑදමත් පෙකෙණි වැලත් යන සියල්ල එකම කුණු මාංෂ මල්ලක් සේ, මුහුණු වසා සිටි පොලිස් කම්කරුවන් පිරිසක් විසින් බිම තබා තිබූ හැකිලූ ට්‍රොලියකට සීරුවෙන් ගොඩගැසුවෙන් පශ්චාත් මරණ පරීක්ෂණ ඇරඹුනි.
ඊළඟට පරීක්ෂණය සඳහා හිස කුණු වී ඉදිමී ඕජස් ගලමින් තිබූ නිශ්ශංකගේ සිරුර ද ට්‍රොලිය මතට දැමුණි.
උදේ පාන්දර කොහේ සිට හෝ කුකුළෙක් හඬලනවා ඇසේ. ඉස්‌සර වගේ ඒ සංඥවත් සමගම දඩිස් ගා ඇඳෙන් බිමට පනින්නට සිතෙන්නේ නැත. සෑහෙන කාලෙකින් එසේ සිතිලාත් නැත. නමුත් හයේ කණිසම නාද වන විට මනරංජනට නිකම්ම ඉන්නට බැරි වෙයි. ඉබේටම ඇඳෙන් පැන්නෙයි. කණ්‌ණාඩිය ඉස්‌සරහා සිටවෙයි.
මනරංජන ඇඟිලි දහයම විදහා කෙස්‌වල්ල පිටිපස්‌සටම තල්ලු කරයි. මේසය මත තිබුණු වතුර වීදුරුව බීගෙන බීගෙන යන විට අමුතුම තරුණකමක් සිතට දැනෙයි. දැන් කණ්‌ණාඩියෙන් පෙනෙන්නේ කලින් මනරංජන නොවේ. වෙනම කෙනෙකි.
මේසය අසළ ජනේලය අරින විට පෙනෙන්නේ වෙනදා මෙන්ම දූලි මූණ පුරා උලාගෙන ඇති ගහකොළ නොවේ. ප්‍රාණවත් ව කොළ පාටින් දළුලා සිටින ගහකොළ ය. ආදරයෙන් මල්වඩාගෙන සිටින අතු රිකිලි ය.
මිදුල කෙළවරේ ඇහැළ ගහ, මල්මිටි අතින් දරාගත් මනමාලියක් සේ බිම බලාගෙන සිටී. තම සිත තුළ මතුව ආ තව මොකක් දෝ කල්පනාවක් හරිහැටි පාදාගන්නට බැරිව ඔහුගේ යටි සිත සැලෙයි. කවදාවත් නැතිව මුවට සිනාවක් නැඟෙයි.
කැඩපතකින් වුවමනාවෙන් බලන්නට තරම් තරුණකමක් දැන් හිතට ඇවිත් ඇත. හිතේ තියෙන තරුණ කමට දැන් කණ්‌ණාඩිය නාකි වැඩිය.
නළලට උඩින් අඟවල් සේ මතුව ආ සුදු කෙස් ගස් දෙක තුන දෙස ඔහු බලන්නේ අද ය. කණ දෙපැත්තෙත් ඒ මදිවාට රිදී පාට වීගෙන එයි. මහලුකම ජීවිතයට මොන තරම් තර්ජනයක් දැයි කාට වුණත් හිතෙන්නේ මේ වේලාවටයි. තරුණ වියෙන් මහලු වියට අවතීර්ණ වීම වූ කලී ඉරක් ගසා පෙන්වන්නට බැරි දෙයකි. සියල්ල බොහොම සීරුවෙන් ක්‍රම ක්‍රමයෙන් සිදු වෙයි. "සිදුවීම" නවත්වන්නට සක්‌කාරයාටවත් බැරිය. ඒත් හිතේ තරුණකම නැති කරන්න නම් සක්‌කරයාට තියා සක්‌කරයාගේ තාත්තාටවත් බැරිය. මනරංජනට හයියෙන් හිනාවෙන්නට හිතුණි.
"කෙස්‌ස පැහෙනවාට දුක් වෙන්නේ මෝඩයෝ බං. ඒ තමා පැසුණු බුද්ධිය. පැසුණු බුද්ධිය......."
දවසක් එසේ කියමින් සිනාසුණේ ඔළුවේ එක කෙස් ගසක්‌වත් නැති "තට්‌ටසිංහ" නොහොත් වීරසිංහය. එදා යාළුවෝ ටික ඔක්‌කොම කොක් හඬලා සිනාසුණෝය. මනරංජන ඒ ජවනිකාව මතක් කරගෙන ආපසු සිනාසෙයි.
පාළුගෙයි වළං බිඳෙනවා වැනි ඒ සිනා හඬෙන් "මොකෝ හිනාවෙන්නේ" යෑයි අසන්නට බිරිඳත් මේ ගෙයි නැත.
ගේට්‌ටුවෙන් පිටත මහ පාර දිගේ එකා දෙන්නා රැකියාව සඳහා පිටත්ව යනවා පෙනේ. සමහරු කඩයප්පන් ගෙන ඒමට කඩපිලට යති.
යමක් සිහිපත් වූ කලක මෙන් ඔහු නාන කාමරයට වදී. නාන කාමරය යනු නිදන් හාරන තැනෙකැයි මනරංජන හැමදාම නැතත් අද නම් සිතයි. නිවිහැනහිල්ලේ හිත හාර හාරා ඉන්නට කෙනකුට හැක්‌කේ කොහේදිද කොතැනදීද? තමාගේම කියා ලෝකයක් ඉදිවෙන එතැනදී.... හිත, ගතින් නිදහස් වෙයි. දොඩමලු වෙයි. සුරංගනා කතා කියයි. සිහින් සංගීත නාදයක් සාලය දෙසින් ඇසේ. ඔහු තුවාය දවටාගෙන එළියට යන්නේ සෙලියුලර් දුරකථනය ගන්නට ය. දරුවා හඬන විට වඩා ගන්නා තාත්තා කෙනකු සේ මුදු මොළොක් අතින් දුරකථනය ගත්තත් කටින් පිට වුණේ නම් රළු වචනයකි.
"හරි ඕයි.....· ඔක්‌කොම කියාපු වෙලාවට· කියාපු විදියට· ඕ... කේ..?"
එසේ පිළිතුරු ලබන්නේ ඔහුගේ රියෑදුරුය. හාම්පුතාව උදේ අවදි කරවන්නටත් දවසේ වැඩ මතක් කරවන්නටත් රියැදුරා පාවිච්චි කරන මෙවලම එයයි. තමා නැත්නම් තනිකඩ මනරංජන මහත්තයා හැමදාම නින්දේය. ඒ රියැදුරු හිතන හැටි ය. නමුත් මනරංජන ගේ සිත අද කාටත් කලින් අවදිව ඇත. ඔහු නැවත නාන කාමරයට වී පැන් දහරින් සිරුර සනහා ගනියි. සිවුරුවම් හඬකුත් නිකුත් කරයි.
මිදුලේ පිපී තියෙන ඔක්‌කොම මල්වල සුවඳ ගත්තත් පෙනහලු පුරවා ඉවරයක් කරගන්නට බැරි තරමට පෙනහලුත් පිරී ඇත. හිතත් පිරී ඇත. කලින් දවසේ අසපු දැකපු සියලුම දේවල් මිහිරි ය. අති මිහිරි ය. හෙවත් මිරිතම දේවල්වලින් පෙරා ගන්නා ලද මිහිරිම ඵලය අදට ඉතිරිය.
"ඔයාට තියෙන්නෙ පුදුම.. කඩවසම් පෙනුමක්"
කවුරු හරි එසේ කී විට කුමක් කියන්න දැයි කාටවත් සිතා ගන්නට බැරිය. ඒ වැකිය ඇසුවේ වයස අවුරුදු විස්‌සේදී නම් රතු වී ඇඹරෙන්නට කෙනකුට හැකි ය. තිස් පහේදී නම්, ආඩම්බරයෙන් බොහොම ස්‌තුතියි කියා කියන්නට හැකි ය.
ඒත්.... හැටට කිට්‌ටු වයසකදී එහෙම ඇසෙන විට කියන්නට ඉතිරිව ඇත්තේ කුමක්‌ද?
"අනේ මේ වයසක මනුස්‌සයා මම" ඔහු හිතුවේ එවේලේ එහෙම කියන්න ය. ඒත් මොන එහෙකට එහෙම කියනවද? යටි හිත මුරගානවා ඇසුණි. ජැන්ඩිපහට ඇඳගෙන තොල්, නිය පාට ගන්වාගෙන සිටින කඩවසම් ඇගේ රුව ඉදිරියේ තමා මොකට නෝංජල් වෙනවාද? හොඳ වෙලාවට තමාගේ කටින් එහෙම නොකියවුණු එක ගැන ඔහුගේ පිරිමි සිතට සැනසුමක් දැනිණි. කටට ආ පළියට කිසි දෙයක් කියන්නට ඕනෑ නැත. විශේෂයෙන් ගැහැනුන් ඉදිරියේ.
"දෙකට බෙදුණු නිකට, හතරැස් ඝනකම් ඇහිබැම, හොඳ පෞරුෂයක් තිබෙන පිරිමියකුගේ ලක්‍ෂණයක්, ඉස්‌සර කවියො වර්ණනා කළේ ගෑනුන්ගේ ලස්‌සන විතරයි. ඇත්තටම ඔයා ගී්‍රක්‌කාරයෙක් වගේ" ඈ එසේ කියද්දී ගෑනියක ගෙ වගේ සිනිඳු සමක් තිබුණා නම් තමන්ගේ මූණ රතුවෙනු ඈට පෙනෙන්නට ඉඩ තිබුණි. හොඳ වෙලාවට කොරොස් රැවුල් කට්‌ට සියලුම හැඟීම් හංගන හොඳ ආවරණයක් ය.
ඒත් ඒ වෙලේ මනරංජන ගේ කට කොනට සිනාවක් නැඟුණි. ඇය ඒ හිනාව දිහාත් මොහොතක් බලා සිටියේ වශීකෘත වී ගිය ආකාරයටය.
"එහෙම නම් ඉතිං කිවිඳියන්ට තියෙන්නේ පිරිමි ගැන වර්ණනා කරලා කවි ලියන්න."
ඔහු එසේ කී විට ඈ කිකිණි සලා සිනාසුණි.
"ආ ඉතිං මං කිවිඳියක් නෙමෙයිනේ"
"නැත්තේ මොකද?"....... චිත්‍ර ශිල්පිනියක් කියන්නේ කිවිඳියක් තමයි. පින්සලෙන් ලියන කවි තමයි චිත්‍ර.. "
බොහොම ස්‌තුතියි. නැවුම් අදහස් ඔයාට තියෙන්නේ. මිස්‌ටර්..... මිස්‌ටර් මනරංජන කමක් නෑ නේද මං එහෙම කිව්වට.."
"අපොයි මක්‌වෙනවද නිකම්ම නම කිව්වත්. මොකද අපි හිතවත් අය වෙච්චි. අපි.. සහෘදයෝ නේ අනෙක් අතට...."
"ඇත්තට මගේ මේ චිත්‍ර ප්‍රදර්ශනයේදී අලුත් අයිඩියාස් ටිකක් ගන්න තිබුණෙ... මට මට.. ඔයාව කලින් මුණගැහුණා නම් ඔයා ගාව හුඟක් වටිනා අදහස් තියෙන්නෙ පුළුවන්. මගේ බෑඩ් ලක්.."
"අපෝ. එක්‌සිබිෂන් එකේ නම් කිසිම අඩුපාඩුවක් මට නම් පෙනුණෙ නෑ. ඒත්..... ම්.... මිස් ඉන්දීවරී..."
ඉන්පසු ගොඩක් දේවල් කතාවුණි. තමා "මිස්" යෑයි කියන විට ඈ කට කොනට සිනාවක් නඟා ගත්තා මනරංජනට මතක ය. ගෑනුන්ගේ හැටි එහෙම ය. මිස් කෙනකුට මිසිස් කිව්වොත් රැවුම් මුහුණකි. මිසිස් කෙනකුට මිස් කීවොත් ඇඹුල් හිනාවකි. මිස් කෙනකුට ම මිස් කීවොත් හොඳ අවබෝධාත්මක සරල හිනාවකි. ඈ පෑවේ තුන්වැනි වර්ගයේ හිනාවදැයි මනරංජන නොදනී. දැනගන්නට වුවමනාවක් ද නැත. මිස් වුණත් මිසිස් වුණත් ඇගේ කලා ඇහැට තමාව ලස්‌සනට පෙනුණි. ඈ ඒ බව කියා ප්‍රදර්ශනය කළා ය. හිතේ හංගාගෙන ඉන්න ගූඪ අදහස්‌වලට වඩා ප්‍රදර්ශනාත්මක අදහස් කෙතරම් වටිනවාද? ඒ සන්ධ්‍යාව අවසන් වුණේ තමා ඇගේ දුරකථන අංකය ඉල්ලූ විට ඈ පෙරළා දුරකථන අංකය දීමෙනි.
"උඹ ඕක ඔය තරමට හිතට ගන්න එපා. ගෑනියෙක් නොම්මරයක් උඹෙන් ඉල්ලා ගත්ත පළවැනි වතාව ඕක නොමෙයිනෙ. නිකම් මනසින් දුරදිග යන්නැතිව ඔන්න ඔහෙ හිටපං.."
එහෙම කීවේ මනරංජන ගේම යටි හිත ය. යටිහිත හති වැටී බලා සිටින විට උඩු සිත කරණම් ගසන්නට පටන් ගත්තේ වයසේ හැටියට නොවේ. උඩු සිත කරණම් ගසා හති වැටෙන විට ඊළඟට යටි සිත රාජකාරිය පටන් ගනී.
"ගෑනියෙක් නැති තනිකඩ ජීවිතේ ඔහොම තමයි බං... හීන, පේන සුනංගුව විතරයි. මාළිගා මවන්න බලාගෙනමයි ඉන්නේ..."
බිරිඳ මියගොස් අවුරුදු පහකි. එකම පුතා විවාහ වී පිටරට ය. මේ හුදෙකලාව මොන තරම් පීඩාවක්‌ද? මනරංජන සුවඳ කොලොන් හලා ගනිමින් සිතයි.
ඉන්දීවරී තේජමාන්න. රට ම පිළිගත් චිත්‍ර ශිල්පිනියක් වන ඈ හෙට අනිද්දා ජාත්‍යන්තරයටම යනු ඇත. තමන් කවුද? තමනුත් නරක නැත. විචාරකයකු වශයෙන් රට පිළිගත් නමක් තමන්ට ඇත. අසුවල් වකවානුවෙ අසුවල් රටේ ජීවත් වුණ අසුවල් චිත්‍ර ශිල්පියාට තමාගේ මෙන් නළල් තලයකුත් අගින් වක්‍රවුණු නාසයකුත් දෙකට බෙදුණු නිකටකුත් තිබුණා යෑයි ඈ කීවේ ඊයේ හවස ය. ඊයේ හැන්දැවේ පැයදෙක තුනක්‌ම තමා ගත කළේ ඈ කියූ ඒ දේවල් මතක් කර කරුණු සොයා යන්නටය.
චිත්‍ර ඉතිහාසය පුරාම මනස විහිදවා ලබාගත හැකි ආලෝකය ගැන ඇයට කියන්නට කරුණු එකතු කරගන්නටය. ඇගේ චිත්‍ර කර්ම විෂයට අදාළව දැනුම් සම්භාරය රැස් කරගත් විට ඈ සමඟ කතා කරන්නට ඕනෑ තරම් දේවල් තියේවි. ඉන් ඔහු සැනසේ. බාබර් සාප්පුවකට ගොස් කොණ්‌ඩය හැඩ කර කොටට කපාගත් කල නහය වඩාත් දිග්ව පෙනේ. ඊයේ හවස සිට මේ දක්‌වා තමා හැබෑටම උමතුවෙන් දැයි ඔහුටම ප්‍රශ්නයකි. ඇඟේ හීනියට උණක් ද ඇත. කොත්තමල්ලි ටිකක් තම්බා දෙන්නට කෙනෙක් ඇත්තේද නැත.
පුදුමය තියන්නේ මෙතෙක් කලක් ඒ අඩුපාඩුව ගැන හිතුණේත් නැති එකට ය. කාලෙකට පස්‌සෙ තමන්ගෙ හිත හුරතල් වෙන්නට හදයි. රාත්‍රී දොළහමාරට දුරකථන ඇමතුමක් දී තට්‌ටසිංහ අවදිකරවන්නට සිතුවේ සිතෙන් ගැළවෙන්නට බැරිම තැන ය. ආපු කේන්තියට හොඳ වේලාවට තට්‌ට වීරසිංහ කුණුහරුප දෙකක් කියා අනෙක් ඇලයට හැරී නිදාගත්තේ නැත.
"එළිවෙනකං හිටපං. උඹ දහඅටේ කොල්ලා වෙන්නේ නැතුව. මේ අපි බරපතළ පවුල්කාරයෝ. උඹට වගේ විවේකයක් නෑ. දවස තිස්‌සේ පවුල් බර ඇදල ඇදලා මේ ඇහැ පියාගත්තා විතරයි. කරත්තෙ ලිහලා ගොනා ගහේ බැන්දා විතරයි. වද නොදී නිදාගන්නවා."
මනරංජන යාළුවාගේ ඒ බස් අසා සිටියේ විනෝදයෙනි. දුරකතනය පවා මොනතරම් හොඳ සෙල්ලම් බඩුවක් ද කියා සිතන්නේ වීරසිංහලා වැනි නිදිකුම්බයන් ගේ නින්ද කඩා බැණුම් ඇසූ විටය.
"සර්... සර්.. දැන් සර් කෙලින්ම ගෙදර ගිහින් ආයෙ එනවද සර්?..."
රියෑදුරාගේ හඬින් ආයෙත් මනරංජන මෙලොවට එයි. හැබෑ නේන්නම්. කාර්යාල වැඩ අවසන් වී තමා දැන් ගෙදර යමින් සිටියි. ඒත් මනරංජන කතා නැත. රියෑදුරාට ඒක ප්‍රශ්නයකි. මනරංජන මහත්තයා කතාව වැඩියෙන් කරනදාට ඒකත් රියෑදුරාට ප්‍රශ්නයකි. කතා නොකරන දාට ඊටත් වඩා බරපතළ ප්‍රශ්නයකි. රියෑදුරා හාම්පුතාව වාහනයෙන් බස්‌සවා පිළිතුරු අපේක්‍ෂාවෙන් බලා සිටී.
"මොකද මිනිහෝ උලමා වගේ බලා ඉන්නේ?"
"සර් දැන් ආයෙ අර කොහෙද යනවා කිව්වේ? ඒකයි....."
"ආ..... ඒ ගමන? මෙහෙ දෙනවකෝ... ඔය යතුර... මම යන්නං..... තමුසෙ ගෙදර යනවා."
රියෑදුරාගේ මුහුණ ඇඹුල් වෙයි.
මනරංජනට පරචිත්ත විජානන ඥානය පහළ වෙයි.
"ආ... මේක තියාගන්නවා."
ඔහු සීයේ නෝට්‌ටු දෙකක් රියෑදුරාට දික් කරන විට ඔහුගේ මූණේ මල් හිනාවක් මැවේ.. එය ඕ. ටී. හිනාවකි.
"ඔන්න ඔහොම හිනාවෙලා ඉන්නවකො. කොච්චර ලස්‌සන හිනාවක් ද තමුසෙට තියෙන්නේ."
රියෑදුරා තව නෝන්ජල් හිනාවක් පා සමුගෙන යයි. ඊළඟට එළැඹෙන්නේ ආනන්දජනක සන්ධ්‍යාවයි. ජල ස්‌නානයෙන් අනතුරුව සුවඳ පැන් වඩා මනරංජන වාහනයට ගොඩවෙයි. ඊයේ පුස්‌තකාලයෙන්ම කාල් ගා සොයාගත් මොකක්‌දෝ පොතක් පිටුපස අසුනට දමා ගනියි.
පාර දෙපස දහසක් මල් පිපී මල් අතු බර වී පාරට නැමී ඇත. මනරංජනගේ වාහනය යන්නේ මල්පෙති පීරාගෙනය. ඇතැම් මල් පොකුරක් ඔහුගේ කම්මුලේ වදී. රැවුල ද බා ඇති නිසා කම්මුලට කිතිත් හොඳ ට දැනේ. අහසත් වෙනදාට වඩා වර්ණවත්ව පෙනේ.
බසින්නට ලැහැස්‌ති වුණත් මළ ඉර නම් දැන්ම ම බසින පාටක් නැත. තව මොන තරම් දේවල් බලන්නට තියෙනවා දැයි සිතමින් මළ ඉරත් හොර ගල් අහුලයි.
"හිටින්කෝ. හිටින්කෝ. හොඳ හොඳ දේවල් අද බලාගත්තෑකි".
කම්මුල් කොරොස්‌ස අතගාමින් මනරංජන කියාගනී. ස්‌ටියරින් වීලය මත ඇති අත දිහා ඔහු බලයි. මේ තනි අතින් කොයිතරම් නම් කාලයක් අත්පුඩි ගසන්නද?
"බ්රූක්.....···"
හිටිගමන් මග දිගට බ්රේක් පාරවල් ය. බ්රේක් ගසන්නේ තමන් ද කියාවත් මගීන්ගෙන් බැණුම් අසන්නේ තමන්ද කියාවත් මනරංජන නොදනියි.
බරසාර හෝටල් අංගනයකට වාහනය පාවී යයි. "ලා නිල් පාට කැටයම් කුලුන" ළඟ පුටුවේ ඈ සිටිය යුතුය. ඈ තවම ඇවිත් නැත. ඒකත් හොඳ ය. මේ වගේ හැඟීම්වල චමත්කාරය තියෙන්නේ බලා සිටින තරමට ය. ඈ තමාට ආදරය කරනවාද? තමා ඈට ආදරය කරනවාද? ඔහු දන්නේ නැත. ඈ තමාව අගය කරයි. වර්ණනා කරයි. තමා ඈට ලෙන්ගතු ය. ඒ තුළ ඊටත් වඩා යමක් ඇත.
නවීන පන්නයේ මෝටර් රථයක් අංගනයට පාත් වෙයි. ඈ සමනළියක් සේ පාවී අවුත් කුළුණ ළඟ අසුන දෙස බලයි. ඔහු මුව අයාගෙන නැඟිටියි. ඈ කිසිවක් වටහාගත නොහැකි පුදුමයෙන් ඔහු දෙස බලා අන්තිමට ම යන්තමට සිනා සේ.
"හා මේ ඔයා මට අඳුනගන්න බැරි වුණානේ·"
ඈ විස්‌මය පළ කරමින් ඔහු ඉදිරියේ අසුන් ගනී. ඒත් ඇගේ මුහුණ පරවෙලා ය මළමිනියක් ගාන ය.
ඈ... ඇයි.... මිස්‌ටර් මනරංජන ඔය චිත්‍රය වෙනස් කළේ.?"
"මොන චිත්‍රය ද..?"
ඔහු අසන්නේ ගොත ගසමිනි.
"අයියෝ මං.. ආස කළ ඔයාගේ විදිය. ඒක ඔයා සම්පූර්ණයෙන් ම වෙනස් කරලා . ඕ. ගෝඩ්..."
ඈ කියවාගෙන යයි. සුසුම් ද ලයි. තමා කොණ්‌ඩය කොටට කප්පවා කළු කළ බව ඇත්තය. රැවුල ද කපා දැමූ බව ඇත්ත ය. ඒත් මේ හැටි පුදුමයක්....?
"අයියෝ වුණ දේ. මං ඇතන්ස්‌වල ඉද්දී මගේ කාමරයේ ලොකු කරලා එල්ලා තිබුණු චිත්‍රය. ඒක දහඅට වැනි සියවසේ හිටපු මහා චිත්‍ර ශිල්පියකු ගේ පින්තූරේ..... ඒ පින්තූරේ හිටියේ ඔයාමයි මිස්‌ටර් මනරංජන.... අයියෝ...... ඔයා ඒ චිත්‍රය සම්පූර්ණයෙන්ම වෙනස් කළා...···"
මනරංජන අවතාරයක් සේ බලා සිටී. ඈ තව මොන මොනවාදෝ කියයි. "ආ.. අපි මොනව හරි බොමු. සොරි.. මට අද හරි වැඩේ. ඉක්‌මනට යන්න වෙලා තියෙනවා. චිත්‍ර ප්‍රදර්ශනය ගැන අද ටිකක් ඉහළ මට්‌ටමේ ඇගයීමක් තියෙනවා. හදිස්‌සියේ ලැහැස්‌ති කරලා. ඇමැතිතුමාත් එනවලු."
ඈ හරිම කලබලෙන් කියාගෙන යයි. දැන් දැන් අහස අඳුරු කරගෙන එන හැටි මනරංජනට පෙනෙයි. හෝටල් මිදුලේ මල්වල පාටක්‌වත් සුවඳක්‌වත් නැත. නැහැයට දැනෙන්නේ ඔක්‌කාර කරවන සුළු විලවුන් ගඳක් පමණි.
රතු පාට ගන්වන ලද තොල් උල් කරමින් ඈ සිසිල් බීම වීදුරුව ස්‌පර්ශ කරයි. උල් කරන ලද නියපොතුවල විස දැනී ඇඟ හිරිගඬු පිපෙයි. හිතේ පිපී ආ මල් යායම පරවෙයි. පරමල්වල අප්‍රසන්න දුර්ගන්ධය හා තනිකමේ සීතල රැගත් වියළි සුළඟ පපුව රිදවයි. ඈ දෙසවත් නොබලන මනරංජන වහ බොන්නාක් සේ සිසිල් බීම වීදුරුව උගුරට හලා ගනියි.
(උදයසිරි වික්‍රමරත්නගේ "කඩේ යාම" කෙටිකථා සංග්‍රහයෙන්)
නැට්‌ටිච්චි තමන් දන්නා නැටුම් ඔක්‌කොම නැටුවාය. වරෙක කළගෙඩි නැටුමක් නැටුවාය. වරෙක හනුමා වන්නම නැටුවාය. වරෙක ගොයම් කපන්නට වූවාය. තවත් වරෙක මධුරි ඩික්‌සිත් වූවාය. තවත් වරක තමන්ගේම නැටුමක් නැටුවාය. බෙරකාරයන්ට මෙන් නොව මේ නැට්‌ටිච්චියට පාර දෙපස සිටින අය ගැන ගානක් තිබුණේ නැත. බෙරකාරයන්ට නම් බෙරය ගැසීමට වඩා වැදගත් වූයේ පාර දෙපස සිට තමන් දෙස බලා සිටින අය දෙස බල බලා යැමය. ඇයට ගානක් තිබුණේ නම් ඇගේ නැටුම ගැන පමණි. කොටින්ම කියනවා නම් ඇයට පෙරහැර ගැනවත් ගානක් තිබුණේ නැත.
මේ අතර අලියා හදිසියේ අඬන්නට වූවේය. හොඬවැල දෙපසට වනමින් නැලවෙමින් ගමන් කරමින් සිටි අලියා පෙරහැරේ යන ගමනත් නවතා පාරේ අයිනට වී නැවතී අඬන්නට වූයේය. අලියාගේ හොඬ කැඩී වැටී තිබිණි. අලියාට කුළුවන් ලස්‌සන කන් දෙකක් තිබිණි. ලස්‌සන දිගු වලිගයක් තිබිණි. එහෙත් ඒ සියල්ලම එසේ තිබිය දී හදිසියේ අලියාගේ හොඬ කැඩී ගියේය. අලියා අඬන්නට වූවේය. පෙරහැරේ ගමන නවතා පාර - අයිනේ නැවතී අලියා අඬන්නට වූවේය. අලියාගේ හොඬවැල කැඩිලා අලියා අඬනවා කවුදෝ කියනු මට ඇසිණි.
මුලින් ද කිව් ලෙස මේ බෙර කාරයන්ට බෙර ගසනවාට වඩා වැඩක් තිබිණි. ඒ පෙරහැර දෙස බලා සිටින අය දෙස බලා සිටීමයි. පාරේ දී තමන් දෙස බලා සිටින ඇතැම් අය දකින විට ඔවුන්ට බෙරයට තට්‌ටු දමන්නට ද අමතක විය. ඒ අතරම හදිසියේම තමන්ට පවරා ඇති කාර්යය බෙර ගැසීම බව මතක් වී බෙරයට තට්‌ටුවක් දමන්නට වූහ. මෙසේ ඔවුන්ට එක් වරක බෙරයට ගැසීමට මතක් විය. තවත් වරක බෙරය ගැසීමට අමතක විය. ඒ මතක් වීම හා අමතකවීම අතර වන අමුතු බෙර පදයක් වයමින් බෙරගෙඩි ඔසවාගෙන පාරේ ගමන් කළහ. කොතනකවත් නැති අමුතු මිහිරි තාලයක් එහි තිබිණි. ඔවුන් ඉතා සතුටින් සිටි අතර ඔවුන්ගේ සතුට වචනයෙන් විස්‌තර කළ නොහැකි නමුත් ඔවුන්ගේ මුහුණු මත නම් ඉතා පැහැදිලිව කියවා ගැනීමට හැකි ලෙස ලියෑවී තිබිණි.
සැබවින්ම අර මුලින් කී එකම නැට්‌ටිච්චිය හැරෙන්ට අනෙකුත් නැට්‌ටුවන්ට හා නැට්‌ටිච්චියන්ට වී තිබුණේ ද බෙරකාරයන්ට සිදුව තිබූ දෙයමය. ඔවුන්ටද නැටීමට වඩා පාර දෙපස තමන් දෙස බලා සිටිය අය දෙස බැලීම වැදගත් විය. ඒ නිසා ඔවුහු බොරුවට අඩියක් තාලයට උඩ පැන ඉන්පසුව පුරුදු පරිදි යළිත් පාර දෙපස බලමින් ගමන් කරන්නට වූහ. බොරුවට නැටුම් තාලයට එක අතක් දමා යළිත් සුපුරුදු ලෙස වට පිට බලමින් ගමන් කරන්නට වූහ. නැටීමට වඩා තමන් දෙස බලන්නේ කවුරුන්දැයි දැන ගැනීමට තදබල වුවමනාවක් ඔවුන්ට තිබුණු බව පෙනෙන්නට තිබිණි. ඔවුන්ගේ අත්පාවලට වඩා නැටුවේ ඔවුන්ගේ හිස් හා දෙඇස්‌ය. ඒ පාර දෙපස තමා දෙස බලා සිටින අය දැක ගැනීමටය. අනිත් අතට පාරේ දෙපස සිටින අය ද ඔවුන්ගේ නැටුම්වලට වඩා මෙසේ එහා මෙහා දුවන ඇස් දුටුවේ යෑයි ද කිව හැකිය.
ඒ අතරම ගිනිබෝලවල ගින්දර නිවී තිබිණි. නොඑසේ නම් ඒවාට ගිනි අවුලුවා තිබුණේ නැත. එහෙත් ඒ නිසා මේ ගිනිබෝලවලට අමුතු බියකරු බවක් ලැබී තිබිණි. ගින්දර ඇති විට ගිනි බෝල බියකරු නැත. එහෙත් ගිනි නැති මේ ගිනිබෝලවල අමුතු බියකරු බවක් තිබිණි. හමුදාකාරයෙකු අත තුවක්‌කුවක් තිබෙනු දුටුවිට බයක් ඇති නොවේ. එහෙත් නිල ඇඳුමක් නැති අයෙකුගේ අතේ ආයුධයක් තිබෙනු දකින විට බියක් ඇති වේ. එසේම මේ ගිනි නැති ගිනි බෝලවලට ද ගිනි නැති කම නිසාම අමුතු බියකරු බවක් ලැබී තිබිණි. මේ ගිනිබෝලවල තිබුණු අමුතු බියකරු බව නිසාම ඒ ගිනිබෝල ඉතා උනන්දුවෙන් මෙන්ම ආඩම්බරයෙන් එක දිගට කරකවමින් ගිනිබෝලකරුවෝ ඉතා උදාරම්ව ගමන් ගත්හ. ඔවුන් කොතරම් ආඩම්බර වී සිටියේ ද යත් තමන් මේ ගිනිබෝල කරකවන්නේ දිවාකාලයේ බවවත් ඔවුන්ට මතක් වූයේ නැත. ගිනිබෝලකරුවන්ට පමණක් නොව පෙරහැර බලා සිටින අයටවත් මේ දවල් පෙරහැරක ගිනිබෝල කරකැවීමේ තේරුම කුමක් දැයි කල්පනා වූයේ නැත.
කසකාරයා නම් කසය ගැසුවේම නැත. කසය ගසනවා තබා කසය ගැසීම ගැන හිතුවේවත් නැත. ඔහු කල්පනා කළ එකම දෙය මේ හොඳ ලස්‌සනට හදා ඇති කසය ගසන්නට ගොස් කසයට මොකක් හරි වුණොත් යන්න පමණක්‌ම බව පෙනිණි. ඒ නිසා ඔහු හොඳ පරිස්‌සමට කසය අතේ තබාගෙන පෙරහැරේ ඉදිරියෙන්ම ගියේය. කෙසේ හෝ ඔහුට හොඳ කසකාරයෙකුගේ පෙනුම තිබිණි. ඔහු කසය නොගැසුවේ හොඳම කසකාරයෙකු වීම නිසා යෑයි ද බලා සිටින ඇතැමෙකුට සිතෙන්නට ඉඩ තිබිණි. මක්‌නිසා ද යත් හොඳම කසකරයන් ආවාට ගියාට තැන තැන කස නොගසන බැවනි. නියම තැනට එන තුරු කසය නොගසන බැවිනි. සමහර විට ඔහු කසය නොගැසුවේ රැස්‌ව සිටි සෙනඟ ප්‍රමාණවත් නොවීම නිසා වන්නට ද හැකිය. නොඑසේ නම් ඔහුගේ එකම අභිප්‍රාය වූයේ පෙරහැරේ ගසන්නට ගොස් කඩා බිඳ ගන්නේ නැතිව මේ ලස්‌සන කසය සුරැකීමට ගෙදර ගෙනයාම ද විය හැකිය. කෙසේ හෝ කසකාරයා කසය නොගසාම කසකාරයෙකු වූවේය.
අනෙක් වැදගත්ම කරුණ නම් වටේ සිටි පෙරහැර බලන අයට ද තමන් පෙරහැරක් බලන බව නොසිතීමයි. අනෙක් අතට තමන් පෙරහැරක් නොබලන්නේ යෑයි ද නොසිතීමයි. ඒ නිසා බෙරකාරයන් බෙරය නොගසන විට ඔවුන් කලබලයට පත් වූයේ නැත. එසේම හදිසියේම මතක් වී බෙරකාරයන් බෙරය ගසන විට කලබලයට පත් වූයේ ද නැත. නැට්‌ටුවන් නොනටන විට කලබලයට පත් වූයේ නැත. හදිසියේ නැටීමට මතක් වී නැට්‌ටුවන් නටන විට කලබලයට පත් වුයේ ද නැත. දවල් ගිනිබෝල කරකවනු දැක කලබල වූයේ ද නැත. කසකාරයා කසය නොගසා කසය තුරුළු කරගෙනම යනු දැක කසකාරයා සමඟ තරහ වූයේ ද නැත. ඒ නිසා පෙරහැර කැමති පරිදි ගමන් කළේය. බලන අය කැමති පරිදි බලා සිටියහ.
කෙසේ හෝ අලියාගේ කැඩී වැටුණු හොඬවැල යළි සවි කරන්නට හැකි විය. ඒ නිසා අලියාගේ ඇඬුම නැවතිණි. එහෙත් ඒ සමඟම අඬන අලියෙකු දැක ගැනීමේ දුර්ලභ වරම පෙරහැර බලමින් සිටින අයට අහිමි විය. සැබවින්ම වැඩි දෙනා බලා සිටියේ පෙරහැරටත් වඩා පෙරහැරේ යන්නේ නැතිව පාර අයිනකට වී නැවතී අඬන අලියා දෙසය. එහෙත් කඩා වැටුණු හොඬවැල යළි සවිකිරීමත් සමඟම අලියා ඇඬුම නැවතුවේය. පෙරහැරට යළි එක් වූවේය. එහෙත් මුලින් පැමිණි විලස නිදහසේ සතුටින් හොඬවැල දෙපසට වනමින් යළි පෙරහැරේ ගමන් නොකළේය. ඒ වෙනුවට හොඬවැල පොඩ්ඩක් වත් නොහෙල්ලෙන සේ ගමන් කරන්නට උත්සාහ ගත්තේය. මක්‌නිසාද යත් යළිත් හොඬවැල කඩා වැටෙතැයි බියට පත්ව සිටි බැවිනි. එහෙත් හොඬවැල වනමින් යන ගමනට වඩා හොඬ නොසොල්වා යන මේ ගමනේ ද කිව නොහැකි තරම් අහිංසකකමක් හා අව්‍යාජත්වයක් විය. එතරම් අව්‍යාජ අලියෙකු මා එතෙක් දැක තිබුණේ නැත.
හොඬවැල කඩා වැටීම නිසා අලිය ඇඬූ නමුත් යළිත් හොඬවැල සවිකිරීමෙන් පසුව ඇඬුම නැවතූ නමුත් හොඬවැල කඩා වැටෙතියි සිතා පරිස්‌සමින් හෙමිහිට ගමන් කරන්නට වූ නමුත් බෙරකාරයින් බෙරයට තට්‌ටු නොදැමූ නමුත් කසකාරයා කසය නොකැරකවූ නමුත් ගිනිබෝලවල ගිනි නොතිබූ නමුත් නැට්‌ටුවන් නැටීමට වඩා පාර දෙපස තමන් දෙස බලා සිටින අය දෙස බැලීමට උනන්දු වූ නමුත් නිළමේලාගේ කිසිම නිලමේ ගතියක් නොවූ නමුත් මේ පෙරහැර විසින් අමුතු නලියෑමක් පාරට දී තිබිණි. සැබිවින්ම මට දැනුනේ පාර ද නලියන බවකි. පාර පමණක් නොව පරිසරයේ ද අමුතු නලියෑමක් දැනිණි. බෙර කාරයන් බෙර නොගැසූ නමුත් මට දැනුනේ අවට පරිසරය බෙර හඬින් ගිගුම් දෙන බවකි. තුරු මුදුන්වල සිට පවා බෙරකාරයෝ බෙර ගසන බවකි. අර ඇඬූ පොඩි අලියා මා දුටු අව්‍යාජම පමණක් නොව විශාලතම අලියා ද විය. අර නැට්‌ටිච්චි පමණක් නොව නැටීම වෙනුවට පාරේ තමන් දෙස බලා සිටින අය දෙස බලමින් ඔහේ අඩි තබමින් ගිය නැට්‌ටුක්‌කාරියන් හා නැට්‌ටුවන්ද මට පෙණුනේ මා දැක ඇති හොඳම නැට්‌ටුක්‌කාරයන් හා නැට්‌ටුක්‌කාරියක් ලෙසිනි. එසේ නටානොනටා ඇවිදීමේ ඇති ලස්‌සන මා දැක ඇති වෙනත් කිසිදු නැටුමක දී මට දැකගන්නට නොලැබුණු ලස්‌සනක් බව මට හැඟුණේය. කසය නොගසන කසකරුවා තරම් උදාර කසකාරයෙකු මා කවදාවත් දැක නැතැයි මට සිතිණි. කස නොගැසීමට තරම් දක්‍ෂ කස ගැසීමක් නැතැයි මට සිතිණි. අර ඉහත කී නැට්‌ටිච්චිය නැටූ පරිදි කළගෙඩි නැටුමත් කුළු නැටුමත් හින්දි නැටුමත් වන්නම් නැටුමත් කළවමේ නැටුම ලෝකයේ හොඳම නැටුම යෑයි මට සිතිණි. මේ පෙරහැර මා ජීවිතයේ දකින ලස්‌සනම පෙරහැර යැයි මට සිතිණි. එයට හේතුව වූයේ මා ආවේ පෙරහරක් බලන්නට සිතාගෙන නොවීමය. එහෙත් මා ගැන අනුකම්පාවෙන් දෝ දෙවියෝ මා එන ඉදිරියේ පෙරහැරක් මවා තිබුණේය. දෙවියෝ මැවූ නිසාදෝ එහි මහ හඬින් අඬන අලියෙක් ද සිටියේය. දෙවියෝ මැවූ නිසාමදෝ එහි සෑම නැටුමක්‌ම කළවමේ නැටූ අපූරු නැට්‌ටිච්චියක් ද සිටියාය.
ඉතිං දැං මේ කතාව මොහොතකට වෙනත් අතකට යොමු කළ යුතුය. සැබවින්ම වෙනත් අතකට යැයි කීව ද එය මේ කතාවේම දිගුවක් බව ඔබට අවසානයේ දී වැටහෙනු ඇත. මිනිසෙකුගේ සැබෑ ස්‌වභාවය දැනගත හැක්‌කේ උදේ කාලයට යැයි කිවහැකිය. මිනිසුන් සමහරෙකුට හෙම්බිරිස්‌සා කැස්‌ස වෛරස් උණ තිබිය හැකි වූවත් මිනිසුන් හැමෝටම උදේට හැදෙන ලෙඩක් නම් ඇත. එය කඩි කුලප්පුව නම් වේ. අනෙක් වැදගත්ම දෙය හෙම්බිරිස්‌සාව කැස්‌ස ආදී ලෙඩවලට කොත්තමල්ලී පස් පංගුව ආදී බෙහෙත් තිබුණත් මේ කඩි කුලප්පුව නම් ලෙඩේට බෙහෙතක් නොවීමයි. එනම් හැමදාම උදේට බොහෝ අයට විශේෂයෙන්ම රැකියාවලට යන අයට කඩි කුලප්පුව වැළඳෙයි. උදයේ ඇති ප්‍රශ්නය වනාහී කළ යුතුම වන්නා වූ කාර්යයන් කිහිපයක් තිබීම හා ඒවා සියල්ලම යම් වේලාවකට පෙර කළ යුතු වීමයි. කෙසේ වූවත් කඩි කුලප්පුවට බෙහෙත් නැති බව පැවසූව ද කඩි කුලප්පුවට බෙහෙත් පවතින බව මට දිනක් අවබෝධ විය. නොඑසේ නම් මට එක් දිනක් මේ බෙහෙත් නැති කඩි කුලප්පුවට බෙහෙත් සම්බ විය. මගේ කඩි කුලප්පුව සංසිඳිණි. යළිත් මට කඩි කුලප්පුව වරින් වර වැළඳුණත් මේ බෙහෙත් ලැබීමෙන් පසුව එය පෙරදිනවල තරම් දරුණු නොවිණි.
එදා ද සුපුරුදු පරිදි උදයේම මට කඩි කුලප්පුව වැළඳිණි. කඩි කුලප්පුවේ මුල්ම රෝග ලක්‍ෂණය වන්නේ උදෙන්ම ඇස් ඇරීමට ඉතා තද කම්මැලිකමක් දැනීමය. ඉතින් ඒ නිසා ඇඳේ සිටම කඩි කුලප්පුව උග්‍රවන අතර ඉන්පසුව ඇඳෙන් බැස්‌ස පසුව එය තවත් උග්‍ර වේ. කඩි කුලප්පුව වැළඳුණ විට දැකිය හැකි රෝග ලක්‍ෂණයක් වන්නේ සෑම වැඩකටම පෙර දෙතුන් වතාවක් ඉබේම ඔරලෝසුව දෙසට නෙත යොමු වීමය. ඒ නිසා ද සෑහෙන කාලයක් වැය වන අතර එය පෙරළා කඩි කුලප්පුව උග්‍රවීමට ද හේතු වේ. මේ අනුව එදා ද කඩි කුලප්පුව වැළඳෙන අනිත් සෑම දිනයකම මෙන් රැවුල කැපීම, දත් මැදීම, නෑම, කෑම, ඇඳුම් මැදීම, ඇඳීම හා අනෙක් කටයුතු කඩි කුලප්පුවෙන්ම කර කෙසේ හෝ පාරට බැස කඩි කුලප්පුවෙන්ම ඇවිදිමින් බස් නවත්වන ස්‌ථානය එනම් හන්දිය කරා ගමන් කරන්නට වූවෙමි.
එහෙත් හන්දියට ගිය විට මට ඉහත විස්‌තර කළ අපුරු දසුන දකින්නට ලැබිණි. එනම් ඒ හන්දියේ පිහිටි පාසලේ පොඩි පංතිවල ළමුන්ගේ පෙරහැරක් උදේම අව්ව සැර වෙන්නට පෙර වීදි සංචාරය කරමින් සිටියේය. මගේ නෙත් සැනසී ගියේය. කඩි කුලප්පුව සංසිඳී ගියේය. මට වූ දෙය මටම වටහා ගත නොහැකි විය. එහෙත් මට සිදු වූ දෙය මට පසුව වටහා ගත හැකි විය. මේ හදිස්‌සියට එනම් කඩි කුලප්පුවට හේතුව මට වටහා ගත හැකි විය.
අපේ හිතේ කිසිම අරමුණක් නැති විට, පරමාර්ථයක් නැති විට, සන්තෝසයක් නැති විට, සෞන්දර්යයක් නැති විට ඒ හිතේ අඩුව අප වෙනත් යමකින් පුරවා ගනිමු. බොහෝ විට ඒ අඩුව පිරවෙන්නේ තේරුමක් නැති හදිස්‌සියක්, ව්‍යාජ හදිස්‌සියක් හිතට ආරූඪ කරගැනීමෙනි. කිසිදු පරමාර්ථයක් අරමුණක් නැති එසේම හිතේ කිසිම ප්‍රීතියක් නැති මිනිස්‌සු ඉතා කලබලයකින් හැසිරීමට හේතුව එයයි. එවිට එනම් හදිස්‌සියක්, කලබලයක් ආරූඪ කරගත් විට ස්‌වකීය ජීවිතයේ කිසිම වින්දනයක් නැති බව, කිසිම තේරුමක් නැති බව, ස්‌වකීය ජීවිතයට කිසිම අරමුණක් නැති බව ඔවුන්ට අමතක වේ. බල්ලට ඇති වැඩකුත් නෑ හෙමින් ගමනකුත් නෑ යැයි කියන්නේ බල්ලා ගැන නොවේ.
එහෙත් එදා කඩි කුලප්පුවෙන් එමින් සිටි මා ඉදිරියට ජීවිතයේ සෞන්දර්යය පැමිණියේය. ජීවිතයේ ප්‍රීතිමත්භවය මගේ දෑස ඉදිරියේම ප්‍රාතිදුර්භූත වුයේය. ජීවිතයේ අර්ථය, සතුට මට හමුවූවේය. ඒ නිසාම මගේ හිත තුළ පවතින තේරුමක් නැති කලබලය හා එයට පිටුපසින් වන මගේ ජීවිතය අරමුණකින් හා ප්‍රීතියකින් තොර වීම මට දැක ගැනීමට හැකිවිය. ඒ අනුව දැනුදු කලබලයක් මට වැළඳුණු විට, කඩි කුලප්පුව වැළඳුණු විට මගේ ජීවිතය අර්ථ විරහිත ජීවිතයක් බවට පත් වෙමින් පවතින බව මට මෙනෙහි වේ. සිහිවේ. එසේ මෙනෙහි වන්නේ එදා මා ඉදිරියේ මැවුණු ඒ අසිරිය හේතුවෙන් මගේ කඩි කුලප්පුව සංසිඳී ගිය නිසාය. නිවුණු නිසාය. ඉතින් එදා මා ඉදිරියේ මැවුණු ඒ අසිරිය ඔබ ඉදිරියේ මා විසින් ප්‍රමාණවත් කරමින් විස්‌තර කළේ යැයි සිතමි. ඔබ ද මා පරිදිම කඩිකුලප්පුවෙන් පෙළෙන්නෙක් නම් එයින් මිදීමට මගේ ඒ විස්‌තරය තරමක් හෝ ඔබට උපකාරී වේ යෑයි සිතමි.
ස්‌වර්ගයට යන දොරටුව ඉඳිකටු සිදුරක් තරම් කුඩා වූ නිසා තමාට එහි රිංගාගත නොහැකි වූ නමුදු, අපායට යන දොරටුව අතිශයින්ම විශාල බැවින්, තමා පහසුවෙන්ම ඒ කරා තල්ලු වී ගිය බව කවියාට පසක් විය. කුසලානේ ලූ මීවිත සමඟ තමා සුමිතුරුව ප්‍රීති ප්‍රමෝදයෙන් නැටූ නැටුම්, ගැයූ ගැයුම් දැන් හමාර වී ඇති බවත්, තමා සුමිතුරුව සිටියේ මී බඳුනක් සමඟ නොව, විෂ බඳුනක් සමග බවද, මීවිත හිස් වූ කුසලානය දැන් තමා කඳුළින් පුරවාගෙන ඇති බවද, ඔහු අවබෝධ කොට සිටියේ ය.
තම ජීවිතයෙන් පනස් පස් වසරක් ගෙවා ඇති නමුදු, දහස් වසරක තරම කඳුළු වගුරා ඇති බව ද, මරණයේ මෙන්ම ප්‍රේමයේ දොර කවුලු කිසිදා වසා දැමිය නොහැකි බවද, මේ වනවිට ඔහු පසක් කර සිටියේය. මරණයටත් වඩා, විටෙක ප්‍රේමය පුරුෂලිංගයක් සේ බලවත්ව නැඟී සිටින්නේ යැයිද ඔහුට හැඟිණ. තමාගේම වියෝවේ දුක්‌කම්කටොලු නිසා දැන් තමා යම් තරමකට ඥානවන්ත වී ඇති බවද, එතෙක් මෙතෙක් තමාට හමුවූ දරුණුතම අනතුර ප්‍රේමය ම බවද, වියෝවේ දෝංකාරය නිරන්තරයෙන් නින්නාද වනවිට මහ පොළොව කම්පිතව, තමා දෙදරවන්නේ යැයිද කවියාට හැඟෙයි. නිතර නිතර ඔහුට සිහිපත් වූයේ කිසියම් උපදේශ කාව්‍යයකි.
"කිසිම අතකට යැමට නුසුදුසු වූ
නැවේ ඇදවී ගිය සුක්‌කානම නුඹයි
බත්තුලක් නොමැති ගේකට සම වන
දෙව් මැඳුරකි නුඹ, නුඹේ දෙවියන්ගෙන් තොර"
සුරා ගඳ හමන බේබද්දෙකුට වඩා, කෑම බීම, ඇඳුම් පැළඳුම්, කනකර සපයන, තමා කැටුව ගමන් බිමන් යන, ප්‍රතාපවත් සැමියකුට ස්‌ත්‍රියගේ ආදරය ප්‍රේමය හිමිවන්නේ යැයිද, පඹයකු බඳු වූ බේබදු සැමියකුගෙන් ඇයට ඇති ඵලය කුමක්‌දැයි තමා තේරුම් ගන්නා විට, වැරදි හදා ගැනීමට බෙහෙවින්ම ප්‍රමාද වී තිබුණ බව කවියා සිහිපත් කළේය. මධුවිතෙන් මත්වී කිසිවක් විසඳාගත නොහැකි බවද, සියල්ල ප්‍රකෘති සිහියෙන්ම විසඳාගත යුතු බවද ඔහු විසින් අවබෝධ කරගනු ලැබුවේ බිරිඳ වෙනකෙකු හා පලා යැමෙන් අනතුරුව ය. අනපේක්‍ෂිත දුක්‌ඛිත භාවයකටත් හුදකලා භාවයකටත්, තමා පත්වෙමින් සිටින බව ඔහුට හොඳටම දැනුණි. මධුවිතට සංගීතයට තමා බෙහෙවින්ම ලොල් වූ නමුදු, බිරිඳට බෙහෙවින්ම ආදරය කළ බවද, ලිංගිකය අභිබවා ගිය ආදරයක්, ප්‍රේමයක් ඈ කෙරෙහි ගැඹුරින් ම පැවැති බවද කවියා සිහිපත් කළේය.
බිරිඳගේ පලා යෑමෙන් පසු ගෙවී ගිය පස් වසර, කෙසේ ගෙවුනේ දැයි ඔහුටම සිතාගත නොහැකි වූ අතර, කාට හෝ ආදරය නොකර ජීවත් වෙන්න අතිශයින්ම අමාරු බවද, මේ වනවිට ඔහුට අවබෝධ වී තිබුණි. යළිත් ප්‍රේමයේ බීජයක්, වියපත් වෙමින් සිටින තමා තුළ ජනිත වීම, තමා කුමන අනතුරකට ඇද දමාවිදැයි ඔහුට සිතාගත නොහැකි විය. කෙසේ වෙතත් මේ වනවිට තමා මධුවිතෙන් මුළුමනින්ම මිදී සිටීම ගැන, ඔහු සතුටු විය. නව ප්‍රේමය ද, හොර රහසේම හිස ඔසවනු ඔහුට දැනුණි. සාරි, ඔසරි, ජීන්ස්, දිදුලන කනකර අබරණ, තොල්සායම්, නිය සායම්, වත්සුණු සුවඳින් සුවඳවත් නොවූ, දහඩිය බිඳුවෙන් ඔපවත් වූ මුහුණ ඇති ලා රත් පැහැති දෙතොලින්ද, නිල් මානෙල් මල් පැහැයෙන්ද යුත් ඇය තමාට වඩා ලාබාල යැයි කවියාට හැඟුණි. වෙළෙඳපොළේ එළවළු විකුණන ඇගේ මුල් දැක්‌මෙන්ම තමා සසලවූ බව ද ඔහුට දැනුණි. සියල්ල සුළඟ මෙන්, ඇතිවී නැති වී ගියද, ප්‍රේමයේ නිමේෂය නම් මහත් වූ චමත්කාරයක්. මිහිරියාවක් ගෙන දෙන්නේ යැයිද, එය වියපත් නොවන්නේ යැයිද, පුරුෂයා තුළ ආනන්දය දනවන සොඳුරු ස්‌වප්නයනම් ස්‌ත්‍රියම බව ද ඔහුගේ ඇදහීම විය.
බිරිඳ අහිමි වූ පස් වසර තුළ රූමත් පැහැපත්, ශෝභන දේහ විලාශ, කතා ලතා ගමන් තාල, ඇති දහස් ගණනක් ළඳුන් හමුවුවද, ඔවුන්ගේ විචිත්‍ර චිත්‍රත්වයට වඩා, තමා තුළ ඔවුන් කෙරෙහි අදෘශ්‍යමාන භීතියක්, පැලපදියම් වී තිබුණේ කුමක් නිසාදැයි කවියාට සිතාගත නොහැකි විය. එතෙකුදු වුවත් මේ තරුණ එළවළු වෙළෙන්දියගේ දහඩියෙන් පෙඟුණ මුහුණ, තම අධ්‍යාත්මය විසින් ගෞරවයෙන් යුතුව වැළඳගෙන ඇති බව ඔහුට දැනිණි. එහෙත් මේ ප්‍රේමයේ අනාගතය ඛේදවාචකයක් විය හැකි බැවින්, ප්‍රේමයෙන් එසේ මුසපත් වීම නොමනා බව ඔහුට දැනුණි. "රත්මිණි වළල්ල" කෙටි කතාවේ පීවීෂෙ වේරා කුමරියට දැක්‌වූ ගොළු ප්‍රේමය ඔහුට මතක් විය. ගැහැනිය සිවුරුහන් හඬ නඟනවිට පල්ලි හතක් දෙදරන්නාක් සේ, ඔහු ද දෙදරමින් සිටියේය. යක්‍ෂයා විසින් ගිල දැමූ ගැහැනිය ඔහුට දිරවාගත නොහැකි සේ කවියාටද මෙය දිරවාගත නොහැකි විය. කෙළෙසවත් බේරී පලා යැමට නොහැකි ලෙස යක්‍ෂයා විසින් දැල එළා ඇත. කවියා කල්පනා කළේය.
මනෝ රාජ්‍යයේ නව රැජින ද හදිසියේම අතුරුදන් වූවාය. මුළු වෙළෙඳපොළම බිමට සමතලා වී ඇති බවක් ඔහුට දැනුණි. තම හිස් වූ පපු කුහරය පසුගිය මාස කිහිපය තුළ තමා පුරවා සිටියේ, ඇඟේ දහඩිය පිරි වත කමලින් බව ඔහුට හැඟුනි. දැනුණි. යළිත් කිසිදිනක ඇය වෙළෙඳපොළේදී ඔහුට දැකගත නොහැකි විය. දෙවියන් වැඩ විසූ ප්‍රේමය නමැති බිමේ යක්‍ෂයා යළිත් කඳවුරු බැඳ සිටීමත් සමඟ කවියා නැවතත් තමා තුළම මිය යෑම ආරම්භ කළේය. එතෙකුදු වුවත් ප්‍රේමය කාව්‍යයක් සේ ද, විචිත්‍ර වූ චිත්‍රයක් සේ ද, ඉමිහිරි සංගීතයක් සේ ද තමා තුළ නින්නාද වනයුරු ඔහුට දැනෙන්නට විය.
ප්‍රබෝධයෙන් හීන වූද, ගතින් සිතින් දුබල වූද, කවියාට යළි යාබද නගරයේදී හදිසියේම දිනක, ඇය දැක ගැනීමට හැකි වුණි. යළිත් වෙළෙඳපොළකදී තමා දැකගත නොහැකි බව පවසා, නුවන් යුග දල්වා ඇය වහා පලා ගියා ය. ඈ කවුරු සමග සිටියේද, කවුරු සමග පලා ගියේද දැන ගැනීමට කවියාට වුවමනාවක් නොවුණි. යලිත් ගිම්හානයේ ගිලන් වූ කවියා, ජීවිතය මරණය හා ප්‍රේමය නම් වූ අභිරහස් යථාර්ථයන් ගැන වඩ වඩා ගැඹුරින් දකින්නට වෑයම් කළේය. යළිත් වසන්තය පැමිණෙතැයි ඔහු පෙරමග බලා නොසිටියේය. සියල්ල සුළඟේ දැල්වෙන පොල්තෙල් පහනක් සේ ඔහුට දැනෙන්නට විය.
මේ මනෝරාජිත ප්‍රේමයේ ව්‍යාධියෙන්, යළිත් එක් වතාවක් හෝ ඇය දැක ගනු රිසියෙන්, ඔහු අවට ලොකු කුඩා නගරවල ඉබාගාතේ සැරිසරන්නට විය. මේ සැරිසැරීම, කවියාට සිහිපත් කළේ, පෙර කලෙක, හදිසියේ අතුරුදන් වූ තම ඥාති සහෝදරයකු සොයා, ගම් නියම් ගම්, නගරවල ඔහු සොයා සැරිසැරූ ආකාරය ය. සුදු ජාතික ඇඳුම ඇඳි, උපැස් පැළඳි, තට්‌ට හිසක් ඇති ඔහු සොයා එබඳු හැඩරුව ඇති සෑම තට්‌ටයකුටම, එම සහෝදරයා යැයි රැවටුණ අයුරින්, ඈ බඳු අයට මෙදා ද රැවටුණයුරු ඔහුට කල්පනා විය. අවසානයේදී එදා තමාට හමුවූයේ ඒ සහෝදරයාගේ අඩක් නරක් වී ගිය මළ සිරුර මෙන්, යළි කිසිදිනක ඇගේ හමුනොවීම ද ඒ හා සමාන අඳුරු දොම්නස් හැඟීමක් ජනිත කරන්නට සමත් විය. තමා හැර ගිය මුල් බිරිඳ, අලුත් සැමියා සමග ගමන් බිමන් යනයුරු සෙනඟ අතර සැඟවී සිට දකින විටද, ඔහුට දැනුණේ එබඳුම හැඟීමක් බව ඔහු කල්පනා කළේය. හිමි වීමට වඩා අහිමිවීම බලගතු බව ද, වියෝව හැමවිටම ගැඹුරු අර්ථයන් මතු කරන්නේ යැයිද, සියල්ල නොසැලකූ තමා ප්‍රේම කරන්නට පටන්ගෙන ඇත්තේ දැන් බවද, දැන් දැන් ඔහුට හොඳ හැටි දැනෙන්නට විය.
ප්‍රේමය හා ශෝකය පිළිබඳ වූ හැඟීම් තව තවත් අසාධ්‍ය වීමෙන්, මේ දුක දුරස් කරනු වස්, කාගෙන් හෝ සහනයක් ලබාගත යුතු යැයි කවියාට අන්තිමේදී හැඟෙන්නට විය. චාන්දනී පායා රිදී පැහැ ගැන්වී මඳ සුළඟේ සරසර හඬනඟන තුරුලතා මෙන්, තම උමතුව ද, බිහිසුණු හඬක් නගමින් සිටින බව ඔහුට දැනිණි. ලැබුණ දේ ගැන තැකීමක් නොකළ තමා, නොලැබුණ දේ පිළිබඳව මිය යමින් සිටීම ගැන ඔහු යළි යළිත් කම්පා විය.
පාසලේ පණ්‌ඩිත හාමුදුරුවන්ට මේ ගැන පවසා, කිසියම් සහනයක් ලබන්නෙම්ද? උන්වහන්සේ "සියලු සංස්‌කාර ධර්මයෝ අනිත්‍යයි" පවසා "ධර්ම රාජ්‍යය" ගැනද දේශනා කොට, ලේ වමනයක් මෙන් බුලත් කෙළ පාරක් පඩික්‌කමට හෙලනු නොඅනුමානය. නොඑසේ නම් මනෝ වෛද්‍යවරයකු හමුවී සහනයක් බලාපොරොත්තු වෙම්ද? එතුමා නම, වයස, ලෙඩේ අසා, කවදා සිට වැළඳුණේ දැයි ද අසා, "යුද්ධ ආයුධ කොතෙක් තිබුණත් සෙබළු මිය යනවාමය", "කොතෙක් බෙහෙත් තිබුණත් ලෙඩුන් මිය යනවාමය" යනුවෙන් සමහරවිට පවසනු ඇත. එසේත් නැතහොත්, නිතරම "ක්‌රාස්""ක්‌රාස්" හඬින් පිහිය මුවහත් කරමින් සිටින මස්‌කඩේ "තහීර්" මුදලාලිගෙන් මේ ගැන ප්‍රශ්න කළ යුතුද? ස්‌ත්‍රීන් තුන් හතර දෙනකුම සමඟ ජීවත් වන ඔහු, ප්‍රේමය හා ශෝකය පිළිබඳව යමක් නොදැන සිටීමට ඉඩක් නැත. එසේත් නැතහොත්. දෑසින් කපටිකම බේරෙන, ටයිපටිය දිගේ සදාචාරය ගලන, ස්‌වාමියා මඩේ ලගින තාරාවකුබව නොදන්නා, බිරිඳ ඉදිරියේ අවංකකම ඔප දමන, එක්‌තරා වැදගත් නිලධාරි මහතාගෙන් මේ ගැන විමසිය යුතුද? එතුමා සමහරවිට "එහෙම ප්‍රේමයක් හෝ ශෝකයක් පිළිබඳව තමා හාංකවිසියක් වත් නොදන්නා බව පවසනු ඇත. දිගින් දිගටම මෙසේ කල්පනා කළ කවියාගේ හිතට විඡ්ජාකරුවකු පිළිබඳව ද අදහසක් පැමිණි නමුත්. අවසානයේදී මේ ගැන විමසීමට ඔහු විසින් තෝරා ගනු ලැබුවේ "වෛශ්‍යා සහෝදරිය" විය.
"ඕවට .... උත්තර දෙන්න මට.. දැන් හුඟක් වෙහෙසයි. ඒත් උඹ කරුණාවන්ත කාලකණ්‌ණියෙක්... බව පේනවා... ප්‍රේමය අඳුරු ගුහාවක් බව මං කියන්නේ.. නෑ. ප්‍රේමය මායාවකින් වසා දමා, රැවටිල්ලකින් අඳුරු කොට, වංචාවෙන් ගිල්වා දැමීම පිළිකුල් සහගතයි..... මං ඒ සියල්ලටම මූණ දුන්නා.... සකල කලාවන්හිම පූර්ව නිමිත්ත ද, වස්‌තුබීජය ද, අනුභූතිය ද ස්‌ත්‍රිය මයි. උසස් පෙළ සමත් මට. එය විස්‌තර කිරීමට. තරම්, මගේ භාෂා ඥණය, පොහොසත් මදි. අපි මෙලොවට පැමිණ ඇත්තේ ප්‍රේම කිරීමට යැයි ආගමික ශාස්‌තෲන් කියනවා. ..... වෙසඟනගේ දෙතොලින් මී පැණි වැගිරෙන්නේ යැයිද,.... ඇගේ තෙපුල් ඔලිව් තෙල් මෙන් මෘදු බව ද, ... ඈ කරා යන උන් තම ආත්මය විනාශ කර ගන්නේ යැයි ද....... ආගමික ග්‍රන්ථයකින් මා කියවා තිබෙනවා. ... ඒත් ඇගේ දෙතොලින් වැගිරෙන්නේ මීපැණි නොව රුධිරයයි. එයට මුසු වූ ඇගේ කඳුළුයි. ඇගේ තෙපුල් ඔලිව් තෙල් වගේ මෘදු නොවූ, උලලේනියකගේ විලාපයයි... මාව දූෂණය කළේ, දහවල සදාචාරයේ පිරුවටය පොරවාගත්, අඳුර දුටු සැණින් ඒ සළු පිලි මුදාහැර නිරුවත් වන කෙනෙකුයි... අඳුරේත් රහසේත්, බොහෝ දේ සිදුවන බව .... උඔ දන්නවා.. ඇතිනෙ...... "ඉසර්ගීන් මැහැල්ල" කතාවේ තරුණ "ඉසර්ගීන්" පුරුෂයන් ගණනාවක්‌ම ඇසුරු කළ ද, ඇය "රතු රැවුලාට" බෙහෙවින් ආදරය කළ බව කියැවෙනවා. ඒ කියන්නේ කාට නමුත් තමා බෙහෙවින් ආදරය කරන කෙනකු ඉන්නවා... ජීවිතය විනාශ වූ මට දැන් ඒවා වල්පල් වගෙයි. මට දැන් ඇත්තේ කුසගින්නයි, බියයි.... තනිකමයි පමණයි. අවසාන වශයෙන් උඹ විසින් දැන ගත යුත්තේ, මා කයින් ජීවත් වුවද, මා මියගොසින් බවයි. මම මහළුව නුදුරු දිනයකදී මහමඟ සිඟමන් යදිනවිට, "වේශිය පලයන්. අහකට කියා, පව්කාරියට ගල් ගසනු ඇති...... ඔව්. මං උඹට එහෙම කියා සිටිනවා.
"සහෝදරිය මට උඹ මහා කාව්‍යයක් සේ දැනෙනවා.... මෙතරම් දේවල් උඹ දැනගත්තේ කොහොමද...?
"බැට කෑම තුළින්.. වෙන කොහොමද? ගුරුවරියක් වීමට ආශාවෙන් සිටි මට උසස් පෙළ සමත්වී විශ්වවිද්‍යාලයට යන්න වරම් අහිමි වුණා. ඒ වුණාට .... හිරගෙදර .... මට විශ්වවිද්‍යාලයක් වුණා. ඒත් මට තවම උඹව පැහැදිලි නෑ."
"මම මගේ ජීවිතයේ ... අතෘප්තිය, හිස් බව නිසා ජීවිතය, මරණය, ප්‍රේමය ගැන කවි ලියනවා.... මිනිස්‌සු මට කවියෙක් කියලයි කියන්නේ."
"එහෙනම් ඕමාර් ඛායියම් ගේ ගෝලයෙක් .. ඈ...?"
"අනේ නෑ... මධුවිතට ඇළුම් කළා තමයි... සංගීතයටත් තාමත් කැමැතියි..... ඒත් සල්ලාලයෙක් වුණේ නෑ... ප්‍රේමයට ආදරයට කැමැතියි. ගරු කරනවා.."
"ප්‍රේමයට, ආදරයට නේද? හ්ම්...... ඊට වඩා... කුසගින්නයි බියයි දස දෙසින් අපි වටකරගෙන.... දැන් දැන් සිය ගණන් දරුවන්, ගැහැනුන් මිනිසුන් මේ රටේ ජාතිභේදයකින් තොරව මැරෙනවා, මරනවා. ඊයෙත් දරුවෙක් මරා දාලා...... ස්‌ත්‍රීන්ගේ ලේ රීරි මාංශ උරා බොනවා. වැඩ බිමේ, ගොවි බිමේ, මිනිසුන් ජීවත් වීමේ අයිතිය ඉල්ලා කෑ ගසනවා, මරණය ජයගත නොහැකි යථාර්ථයක් තමයි. ඒත් මැරෙන්ඩ ඉස්‌සර වෙලා ජීවත් වෙන්ඩ ඕනෑ. කුරුල්ලන් ඉන්නේ පියාසර කරන්ඩමයි.... තටු කඩා දාලා තියෙන උන්ට පියාසර කරන්ඩ.. උඹේ පෑන යොමු කරපං. මුහුදේත්, ගොඩබිමේත්, අහසේත්. පොඩි එකා, ලොකු එකාගේ ගොදුරයි" , "සහෝදරී උඹ මහා කාව්‍යයක්‌ම බව මම නැවතත් කියා සිටිනවා..... උඹ ඉදිරියේ මට .... මං ... ගැනම .... කනගාටුවක්. ලැඡ්ජාවක් ඇති වෙනවා."
පිපාසිත හදවත් ඉල්ලා හඬන යදින, අඳුරු දොම්නස් හදවත්. සොඳුරු සේ නලවා, සනහාලන සෞන්දර්යයේ නදියක් වෙත්නම්, පල දරන රුක් ගොමුවක් සඳුන් වන අරණක් වෙත්නම් ඒ ප්‍රේමයම විය යුතු බව සැබෑව. දැනුවත්ව හෝ නොදැනුවත්වම විෂ කාන්දු වූ කිසිම වෛද්‍යවරයකු ට, ධර්මාචාර්යවරයකුට, යන්ත්‍ර මන්ත්‍ර කරුවකුට හෝ විඡ්ජාකරුවකුට පිළියම් කළ නොහැකි ප්‍රේමයේ ස්‌වභාවය නම් මෙසේම විය යුතුය. තමා වෛශ්‍යා සහෝදරිය වෙත නොගොස්, ප්‍රේමය ගැන විමසීමට විඡ්ජාකරුවකු වෙත ගියේ නම් ප්‍රේමය මුළුමනින්ම විඡ්ජාවක් බව ඔහු විසින් නිසැකවම පවසනු ඇත. දහසකුත් දුක්‌විඳින මිනිසුන් වෙනුවෙන් තම පෑන මෙහෙයවීම ම ප්‍රේමයක් ම බව කවියා අවසානයේදී අවබෝධ කර ගත්තේය.
සියුමැලි......
- අසිරු කරුණාරත්න - සිළුමිණ සත්මඬල
තුනට කාලයි. මම ඔරලෝසුව දිහා බැලුවා. කන්තෝරුව ඇරෙන්න තව පැයකටත් වඩා තියෙනවා. මාස තුතනකට විතර කලින් පත්වීම අරං ආවත් අද ද මන්දා වැඩක් නැතිව ඉන්න වෙලාවක් ලැබුනෙ. ගතට වගේම හිතටත් නිදහසක් දැනුනා. මට මේ පත්වීම ලැබුනෙ රාජ්‍ය සේවයට පරිගණක උපාධිධාරීන් බඳවා ගැනීම යටතේ. පරිගණක උපාධියක් අරං රස්සාවට ආවත් තාමත් පරිගණක වලින් කෙරෙන වැඩ අඩුයි. ඒ නිසාම මටත් අඩු වැඩි වශයෙන් කරන්න වුනේ ලිපිකරු රාජකාරි.
“මල්ලි වැඩක් නෑ නේද මේ ෆයිල් එක ටිකක් බලලා දෙනවද?” “මල්ලි අද නම් මගෙ ලියුම් ටික හදලා දෙන්න ඕන.” කන්තෝරු නෝනලගෙන් එන වැඩ නම් ඉවරයක් නෑ . ඒ නිසා අනිත් කාටවත් නැති තරම් වැඩ කන්දරාවක් මට කරන්න තිබුනා. “ඔයා දමයන්ති මිස්ගෙ වැඩ විතරයි නෙ කරන්නෙ. නිකං ඉන්න එකේ අපිටත් උදව්වක් කරන්න. මං සී සී මිස්ට කිව්වා අද මගේ වැඩ වලට ඔයාව අඬගහ ගන්නවා කියලා”. මාව බෙදා ගන්න බැරිව කන්තෝරුවෙ මිස්ලා රන්ඩුත් වෙනවා.
අළුතෙන් ආපු නිසත් අළුත් දේවල් ගැන දැන ගන්න හිටිය එකම කෙනා මම විතරක් නිසා අනෙක් අයට වඩා විශේෂ පිළිගැනීමක් මට තියෙනවා කියලා දැනිලා තිබුනා. ඉල්ලන ඕන උදව්වක් නෑ බෑ නොකියා කරලා දෙන නිසා හැමෝම වගේ මට හොඳින් සලකන්න පුරුදු වෙලා හිටියා. තමන්ගෙ වැඩ අනුන්ට බෙදන කන්තෝරු නෝනලා වැඩි හරියක් කළේ කියව කියව ඉන්න එක. ඊට අමතරව සාප්පු යන එක, බැංකු යන එක කලෙත් කන්තෝරු වෙලාවෙ. හවස ඉස්කෝලෙ ඇරෙන වෙලාවෙන් පස්සෙ ළමයින්ව එක්ක එන්නෙත් කන්තෝරුවට.
“ඔය පැයත් ගෙවිලා යයි” කන්තෝරු මේසෙ වීදුරුවට යටින් දාලා තිබුන පඩි වඳන් දිහා බලමින් මම ඔහේ කල්පනා කර කර හිටියා. ඒවා කලින් මේ මේසෙ හිටපු මහත්තයා පත්තර වලින් කපලා දාපුවා. මට එහා පැත්තෙ මේසෙ ඉන්න නිශාන්ති මිස්ගෙ දූත් අද කන්තෝරු ඇවිත්. උසස් පෙළ හදාරන නිශාන්ති මිස්ගෙ දූ පංති නැති දවස් වලට කන්තෝරුවට ඇවිත් හවසට අම්මත් එක්ක ගෙදර යනවා.
“මේකි නං කට කාර කෙල්ලෙක්” මාත් එක්ක නැතත් අනිත් අය එක්ක ඇය කතා කරද්දි මට හිතුනා. “පුදුම කියවිල්ලක් තියෙන්නෙ කට කතුර වගේ”
මටත් ඈ එක්ක කතා බහ කරන්න ඕන උනත් මොකක්දෝ මන්දා ලැජ්ජාවක්, බයක් වගේ එකක් හිතට ආපු නිසා මම ඇයත් එක්ක කතාවට ගියේ නෑ. කටකාර උනත් පිළිවෙලට හිටපු ඇය වචනයේ අර්ථයෙන්ම සුන්දර කෙල්ලෙක්. සුදු ගවුම මැදින් වැටුනු තැඹිලි පාට ටයිපටිය ඇයව තවත් වර්ණවත් කලා. ගොතපු කොන්ඩ කරල් දෙක දෙපසට වනමින් කටපුරා හිනාවෙන ඇය මුළු කන්තෝරුවම සුන්දර කරනවා. ඇගේ සුන්දරත්වයට කන්තෝරුවෙ හැමෝම ආදරය කලා වගේ පෙන්නුවත් තමන්ගෙ දරුවන්නට නැති ආකර්ශණයක් ලැබෙන නිසා සමහරු ඇයට ඊර්ෂියා කරන බවත් මට දැනිලා තිබුනා.
“ඕවා මං දන්නෙ නෑ. අර අයියා ගෙන් අහගන්න.” නිශාන්ති මිස් දුවට කියනවා මම අහගෙන. “මල්ලි මොකද කම්මැලි කමේ වගේ මෙන්න මෙයාට මේක කියාදෙන්න පුළුවන්ද අපි ඔය කොමිපියුටර් දන්න එකක් යෑ” ඒ ක්ෂණයෙන්ම නිශාන්ති මිස් මගෙන් අහනවා. “ඒ අයියා ගාවට ගිහින් අහගන්න” මං උත්තරයක් දෙන්නත් කලින් ඇයව මං ගාවට එවලත් ඉවරයි.
“හා මහත්තයා …………… මං මේ කල්පනා කලේ අයියා කියනවද? අංකල් කියනවද? කියලා කොන්ඩෙ රැවුල පැහිලා නැති නිසා අංකල් කියන්නත් බෑ අම්මගෙ යාළුවා නිසා අයියා කියන්නත් බෑ”
“කතා කරනවා තියලා මීට කලින් මේකි මං දිහා බලලා හිනා වෙලාවත් නැද්ද කොහෙද. ඒ ඩිංගට පුටුව ඇදන් වාඩිවෙලත් ඉවරයි. මෙහෙදි මෙහෙම නං ගෙදර කොහොම ඇද්ද.” මං ඇය දිහා නොබලම කල්පනා කළා.
“මොකද මේච්චර ආඩම්බර” ඈ මං දිහා බලාගෙන ඔලුව ඇද කරගෙන හිනා වෙනවා.
“හරි දැන් මොනවද අහගන්න ඕන කිව්වෙ” මම කඩහඬ අවදි කලා.
“ඊට කලින් ප්‍රශ්නෙට උත්තර ඕන. මං ප්‍රශ්න දෙකක්ම අහලා තියෙන්නෙ. හොඳ සන්නිවේදනයක් පවත්වාගෙන යන්න ප්‍රශ්න මග ඇරලා බෑ. අයියා කියන්නද? අංකල් කියනවද ? දෙකටම නැතත් ඒකට නම් උත්තරයක් ඕන මයි”
ඇය ආයෙත් හිනා වෙනවා. හිනා වෙන කොට වල ගැහෙන වටකුරු මුහුණු ඇගේ සොඳුරු බව තවත් ඔප් නං වනවා. සුදු පැහැති අත්වල යන්තමට වැඩුනු රන් පැහැ රෝම දහඩියෙන් තෙත්වෙලා දිලිසෙනවා. හිතේ කොනකට වෙලා තිබුනු ඇයත් එක්ක කතා කිරීමේ ආශාව ඉටුවීම නිසා සතුටක් දැනුනත් ඒ බව නොපෙන්වා ඇය දිහා බලාගෙන හිටියා. මේ පණ්ඩිත කෙල්ලනම් පුදුම කරදරයක් වෙයි මට හිතුනා. ඒත් මං ඒ කරදරයට ආසාකරන්න ඇති.
කරදරයක් වෙයි කියලා හිතුනා වගේම ඈ ඇගේ හැම දේකටම මාව හොයන් එන්න පටන් ගත්තා. පාසල නිමවෙලා කන්තෝරුවට එන ඇයට මගෙන් කරගන්න වැඩ බොහොමයක් තිබුනා. පාසලේ පැවරුම්, ඇගයීම්, ව්‍යාපෘති සියල්ලම කර ගන්න ඈ මා සොයා ආවා. මටත් මොන තරම් වැඩ තිබුනත් ඇය එන දවස්වලට ඈ වෙනුවෙන් කොහොම හරි වෙලාවක් වෙන් කරන්න මටත් පුළුවන් උනා. මම පරිගණකයෙන් ඇගේ වැඩ කරද්දි ඈත් පුටුව මං ලඟටම ඇදගෙන ඇගේ නිකට මගේ උරහිසේ තියාගෙන ඒ දිහා බලාගෙන ඉන්නවා.
“දැන් ඇති....... කරෙන් බහිමු”
ඒ වෙලාවට එහෙම කිව්වත් ඇය එලෙස මගේ සමීපයේ සිටීම මම ප්‍රියකලා. ඒක නෑ කිව්වොත් බොරුවක්. ඇතැම් දිනවල ඈ එනකල් මම මග බලන් හිටියා කියලත් මට හිතෙනවා. මාසෙ අන්තිමේ පඩි දවසට ඇයට සුළු තෑග්ගක් දෙකක් අරන් දෙන්නත් මං අමතක කලේ නෑ. ඇයත් මාත් අතර තිබුනු විවෘත සබඳතාව ඇගේ මවට වගේම කන්තෝරුවෙ අයටත් අමුත්තක් උනේ නෑ. “ අයියට ගැල වීමක් නෑ වගේ” සමහරු එහෙම කියලා විහිලු කරනවා. “කොටි වලිගෙ අල්ල ගත්තා වගේ තමයි” ඇයත් ඒ වෙලාවට උත්තර දෙනවා. “කෝ අද වලිගෙ” ඇය නැති දින වල කන්තෝරු සගයො ඇයව මතක් කරනවා.
මට වඩා වසර 10 කින් පමණ බාල ඈ සමග මගේ තිබුන මොන වගේ සබඳතාවයක්ද කියන්න අදටත් මට පුළුවන් කමක් නෑ. ඒත් ඇය මගේ ජීවිතයෙ ලොකු කොටසක් වෙන් කර ගෙන හිටිය බව නම් කියන්න පුළුවන්. අධ්‍යාපනය වගේම ජීවිතේට වැදගත් හැමදේම ඇයට කියා දෙන්නත් මට අවස්ථාව ලැබුනා. ඒ නිසාම පංතියෙ අනිත් ළමයින්ට වඩා බොහෝ ඉදිරියෙන් ඇය ඉන්නවා කියලා ඇගේ අම්මා කන්තෝරුවෙ කතා වෙනවා මං සතුටෙන් අහගෙන හිටියා.
මේ වෙද්දි ඇය උසස්පෙල සමත්වෙලා සරසවි වරම් ලබලත් ඉවරයි. දුවගෙ ජයග්‍රහනය සමරන සාදයට අම්මගෙ කන්තෝරු සගයන්ටත් ඇරයුම් ලැබිලා. මේ ගෙවෙමින් තියෙන්නෙ මගේ ජීවිතයෙ හොඳම කාලයෙ අවසානය. ඈට උදාවෙමින් තිබුනෙ ජීවිතයේ සොඳුරුම කාලය. තව කොව්වර දවසක් ඇය මට ලං වෙලා ඉඳියිද? ඉක්මණටම ඇය මගෙන් වෙන් වෙලා යයි. එහෙම හිතෙන කොට පුංචි දුකක් හිතේ කෙලවරකට ගොඩ වෙනවා. එක අතකට ඉක්මණටම එහෙම වෙනවා නම් හොඳයි. සාදයට ආපු අය සිනා සයුරෙ ගිලෙද්දි මම මිදුලෙ කෙලවර බංකුවට වෙලා මම කල්පනා කළා.
“ඇයි මෙතන. ගෙට එන්නෙ නැද්ද ”
“මෙතන හොඳයි. නිස්කලංකයි. කොහොමත් මං කැමති මෙහෙම”
“මං බලන් හිටියෙ ඔයා විතරක් ඉන්න තැනක්. මං දෙයක් අහන්නද”
“දැන් මොනවද අහන්න තියෙන්නෙ? මෙච්චර කල් කෙලවරක් නැතිව කියෙව්වෙ මගෙන් අහලා නෙමෙයිනේ.”
“ඔයාට යාළු කෙල්ලෙක් නෑ නේද.”
කවදාවත් අහපු නැති ප්‍රශ්නයක් මං අසලින් වාඩිවෙලා ඇය මගෙන් අහනවා
“දැන් ඕක ද මහ ලොකු ප්‍රශ්නෙ. මොකද කපු කමක් වත් කරන්න හිතුනද.?”
“එහෙම නෙමෙයි. ඔයා මං වෙනුවෙන් කොයි තරම් කැපවීමක් කලාද. මට ගෙදර කෙනෙක් ගාවට වඩා ආරක්ෂාවක් ඔයා ගාව තිබුණා. මාව ආදරෙන් බලාගත්තා. මගෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා නම් ඔයාට ඒකට අවස්ථාව ඕන තරම් තිබුනා. මං හිතන්නෙ මං හිටපු නිසා ඔයා ඔයාට ඔයාගෙම කෙනෙක් හොයා ගන්නත් බැරි උනා. ඉතිං බැරිද මට එතැනට එන්න.
කවදාවත් තිබුනෙ නැති ශාන්ත ස්වරයක් ඒ හඬේ එදා තිබුනා. ඈ මගේ අත තදින් අල්ල ගෙන උරහිස මත හිස තබා ගෙන සිටියා. නිහඬ වට පිටාවෙ කාලය එක තැනක නැවතිලා වගේ මට දැනුනා.
මම ඈව තුරුළු කරගෙන ඇගේ හිස අත ගෑවා.
“නෑ පුතා”
මං බොහොම අසීරුවෙන් එහෙම කිව්වා. තාත්තා කෙනෙක් තමන්ගෙ දුවෙකට කතා කරන ගැඹුරු ආදරණීය හඬ ඒ වචන දෙක ඇතුලෙ ගුලිවෙලා තිබුනා.
“පුතා”
“ඔව්.”
අදටත් තේරුම් ගන්න බැරි මගේ ජීවිතයෙ ඇය කවුද කියන එක මම ඇයට විස්තර කරන්න උත්සාහ කළා. වෙනදා වගේ අගක් මුලක් නැති කතා ගොඩක් මම ඈට කියන්න ඇති. එත් මම මගේ ජීවිතේ ඈට තිබුනු තැන මම ඇයට කොහොම කියන්නද.
“ඇත්තටම ඈ මගේ කවුද” මම මගෙන්ම එහෙම ඇහුවා. මගේ හිත නිතරම ඇය සෙව්වා. ඈ මගේ ලඟ ඉඳීම මම ප්‍රිය කළා. ඈ නැතිව මට පාළු දැනුනු අවස්ථා බොහොමයි. එහෙම නං ඇයි මගේ ජීවිතේ ඇගේ කොටස ඉල්ලද්දි මම ප්‍රතික්ශේප කරන්නෙ. එහෙම බලද්දි මම ඈට ආදරය කරලා නැද්ද. නෑ ...මම ඈට ආදරය කරා. ඔව් මුළු හදවතින්ම කිසිම වංචාවක් නැතිවම. මේ ලෝකෙ වෙන කවුරුවත්ම ඈට ඒ තරම් ආදරේ කරන්න නැතිව ඇති. ඔව් දැන් මට තේරෙනවා මං ඈට ආදරය කරලා තියෙන්නෙ ඒ ආදරේ කොටස් කරලා ඈටවත් දෙන්න බැරි තරමට. ඇය කිව්වා හරි. තරුණ වයස ගෙවෙමින් තිබුනත් මට පෙම්වතියක් හොයා ගන්න ඕන නොවුනෙ ඇය සිටිය නිසා වෙන්න ඇති. එත් මට ඈව එහෙම දකින්න ඕන උනේ නෑ කියන එක නම් ස්ථිරවම කියන්න පුළුවන්.
එතැන් පටන් සාමාන්‍ය විදියට ඇයව දකින්න උත්සාහ කලත් මගේ හිත ඇයව මග හරින්න බල කරනවා කියලා මට හිතුනා. ඇයව තේරිලා තිබුනෙ පේරාදෙණිය සරසවියට. “කොළඹට මාරුවක් ගන්න ඕන” පත්වීම අරං අවුරුදු හතරකට කිට්ටුවෙන නිසා මටත් මාරුවක් ගන්න හිතුණා. කාලයත් එක්ක දුරස් වුනු ඇයත් මගේ මතකයේ කොනකට ගාල් උනා.
දැන් ජීවිතේ ගෙවෙන්නෙ කොළඹ බෝඩිමේ. සති අන්තෙ වැඩ ඉවර වෙලා ගමේ යන බස් එක අල්ල ගන්න මම ඉක්මනින් ඇවිදගෙන අවා.
“මං ඔයාව කොව්චර හෙව්වද”
ඈත ඉඳන් දුවගෙන ආපු කෙල්ලෙක් අතේ එල්ලුනා. තව පොඩ්ඩෙන් දෙන්නම බිම.
“තාමත් එදා වගේ මයි” මට ඈ අඳුර ගන්න අපහසු උනේ නෑ. හිතේ කොනක සැඟවිලා තිබුණ පරණ මතක එක පොදියට එළියට එනවා.
“මතකද ඇහුවා කිරිල්ලියක් වගේ සැහැල්ලුවෙන් ඉන්න මං මේ තරම්ම ඔයාට ආදරේ කරන්න ඉගෙන ගත්තෙ කොහොමද කියලා”
පුදුමයෙන් මං දිහා බලන් ඉන්න තරුණයෙකුට මාව පෙන්වමින් ඇය කියනවා.
“මේ මට ඒක කියා දුන්න කෙනා. ඒ මං සියුමැලි කාලෙ. දැන් පරිණත විදියට ඔයාට ආදරේ දෙන්නෙ ඒ නිසා. එත් එයා කවුද කියලා කියන්න මං එදා දැනන් හිටියෙත් නෑ . අද දන්නෙත් නෑ.”
ඇගේ ඇස් කඳුලෙන් තෙත් වෙලා තියෙනවා මම ජීවිතේ පළමු වතාවට දැක්කා. ප්‍රථම ආදරය ජයගත්ත පෙම්වතෙක් තුල ඇතිවන ගැඟීමක් මට ඇති උනා.
“කළුතර, මතුගම, මීගහතැන්න, වළල්ලාවිට...” බස්එක මාව පහුකරලා යන්න හදනවා. කොන්දොස්තර මල්ලිගෙ කෑ ගැසීම නොවන්න මට ඒක මග ඇරෙනවා.
“මම යන්න ඕන. මේ අන්තිම බස් එක” මම හිමින් සීරුවේ අත අත ඇරියා. “යනවා” වෙනදා ගිහින් එන්නම් කියන මම අන්තිම වතාවට ඇයට කිව්වා. “පරෙස්සමෙන් ....” ඇය මට එහෙම කිව්වත් ඈට මං එහෙම කියන්න ඕන උනේ නෑ. ඔහු ඇයව ප්‍රවේසමෙන් එක්ක යයි. පසුපසින් දිවගිහින් අදින බස් එකට යංතං ගොඩ උනා. ඒ දෙන්නා මං දිහා බලන් ඉන්නවා කියලා මට දැනුනා.
".... දිසාපති උන්නාන්සෙ බැහැදකින්න අවසරද?.... ආයිබොවං...."
මම ජනේලයෙන් පිතට බැලුවෙමි.
දැතින් ගත් තුවාය ගුලි කොට උදරයට තද කරගෙන මා වෙත බයාදු බැල්මෙන් නැමී සිටියෙකි ඔහු.
කොටු වැටුන සුදු සරමක් හා කරින් පැලූ කමිසයක් ඇඳ සිටි මේ අසරණයා සිය වයසත් සමඟ ගෙවී ගිය හිසේ ඉතිරි වූ කෙස් රොද කීපය පුංචියට ගුලි කොට එළබටු ගෙඩියක් සෙයින් පිටුපසින් බැඳගෙන සිටියේය.
ඝනව වැඩුණු ඔහුගේ උඩු රැවුල මුහුණට ප්‍රතාපවත් බවක් ලබාදී තිබුණි.
ඒ ආරෝහ පරිනාහ දේහය මා ඉදිරියේ සිටගෙන කාලයේ අතීතය විදහා දක්‌වන දිගු කතාවක් මට කීය.
වයස අවුරුදු හැත්තෑවක්....? අසූවක්....? එහෙත් තාම බෙහෙවින් නිරෝගී සේ හැඩි දැඩි සිරුරක්.... පිරුණු මුහුණ පැහැපත්ය. නිල්වත් දැස දීප්තිමත්ය.
" අපි නං මේ වෙනකොට ඇට කටුත් නෑ...."
මගේ යටිහිත මට කියයි.
".... දිසාපති තුමා තාම කන්තෝරුවට ඇවිත් නෑ.... ඔහෙන් වාඩිවෙලා ඉන්න...."
ඔහු සෙමින් සෙමින් ඉවතට පියනැඟීය. තුවාය යළි කරට වැටුණි. කොරිඩෝව දිගේ මඳක් ඔබ්බට ගමන් කළ ඔහු උදාසීනව සිත්පිත් නැත්තෙකු සේ ඉවත බලා සිටිනු මට පෙනේ.
".... මේ මනුස්‌සයා මොකද උදෙන්ම ජී. ඒ. හමුවෙන්න ආවෙ.... මොකක් වුණත් ඒ කතාන්තරය දුක්‌බර එකක් වාගෙයි. ඔහුගේ මුහුණෙන් ඒ බව හොඳටම පේනවා. හරිම හදිස්‌සියකින්.... කලබලයකින්.....
වමත හිසට උඩින් ඔසවා කුලුනට තබාගෙන දකුණත නවා සිය ඉඟටියේ රුවා ගත් ඔහු එක් කකුලකට බරවී නිසොල්මන්ව සිටගෙන ඈත බලාගෙන කල්පනා කරයි. ස්‌වල්ප වේලාවකින් ඔහු දකුණත ඉවතට ගෙන දකුණු කරෙහි රුවාගෙන සිටි තුවාය ගෙන ඔසවා යළි පෙරසේම කරේ තිබූ තැනම රඳවාගෙන අත යළිත් ඉඟිටියේ රුවා ගත්තේය.
ඔහු එසේ කළා නොව කෙරුනා සේය.
මම මේ අසාමාන්‍ය මිනිසා දෙස ඈත සිටම බලාගෙන ඉඳිමි. ඔහුගේ මුහුණ පැහැදිලිව නොපෙනුනද ඒ මුහුණේ මා දුටු විලාසය මගේ හදවතට කතා කරයි. මට ඔහු පිළිබඳව දැඩි අනුකම්පාවක් ඇති විය.
ජීවිතය යනු ප්‍රශ්න කන්දරාවකි. ඒවාට උත්තර සෙවීම පැටළුණ නුල් බෝලයක අගමුල සෙවීම වත් දුෂ්කර කාරියකි. සෑම මොහොතකම අප සොයන්නේ සැපතකි. එහෙත් නිරතුරුවම අප කරා ළඟා වන්නේ දුකකි.
ලෝකයේ පරම සත්‍යය එය නොවෙද?
".... ඔය බංකුවෙ වාඩිවෙලා ඉන්න.... දිසාපති තුමා එන්න තව ටිකක් වෙලා යයි..."
මම ඔහුට ඇසෙන සේ හඬ නඟා කීවෙමි. මවෙත හෙළු නෙත් ඇති ඔහුගේ මුහුණ සැනෙකින් සිනා පහළ විය. යළිත් ඔහු ඉවත බලා ගත්තේය.
ඊළඟ මොහොතේ ඔහු ළඟ තිබූ බංකුවේ වාඩි වෙන හැටි මම දුටුවෙමි.
".... මේ මනුස්‌සයා උදේ රැයින්ම මොකටද?.... ජී. ඒ. හමුවෙන්න ආවෙ...." පෙර මසිත පහළ වූ ඒ සිතිවිල්ල යළි මට කරදර කරයි.
".... ආපු උවමනාව මොකද්ද කියලා මං අහලා බලන්න ඕනෑ...."
මම කොරිඩෝව දිගේ ඔහු අසලට ගියෙමි.
සැනෙකින් එතැනට වන් මා දුටු ඔහු ගැස්‌සිනි. නැඟිටිමින්.... සර්" යයි ඉබේටම කියෑවිනි.
"....දිසාපති තුමා දැන් එයි.... ලොකු උන්නැහැ මොකද මේ උදෙන්ම.... මොකද්ද නම...."
".... මගෙ නම කළු බණ්‌ඩ සර්...."
" ....කළු බණ්‌ඩා...."
"එහෙමයි සර්...."
"එතකොට ගම කොහෙද...."
".... මං අන්දරවැවේ ආයුබොවං...."
"....අන්දරවැව.... මේ වන්නි හත්පත්තුවේ නේද තියෙන්නෙ...." හුඟක් ඈතනෙ.... එහෙනං උදේ රැයින්ම පිටත් වෙලා එන්ඩැති නේද...."
".... එහෙමයි සර්...."
"..... මොකද්ද ඉතින් මේ උදේ රැයින්ම පිටත් වෙලා ඇවිත් දිසාපති තුමා හමුවෙන්න තියෙන උවමනාව...."
".... මට ලොකු කරදරයක් උනානෙ සර්...."
".....ඒ මොකද්ද...."
".... මගෙ පොඩි එකී රන්මලී වැව ඉස්‌මත්තෙ ටිකිරියත් එක්‌ක දීග ගිහින් ඊයේ රෑ.... මං ඔය කාරණේ දිසාපති හාමුදුරුවන්ට පැමිණිලි කරලා යන්ඩ ආවෙ.... මගෙ බේරිල්ලත් තියෙන්ඩ එපායෑ.... ඒකිගෙ අම්මා හිටියා නං ඕක වෙන්නෑ කවදාවත්....·
කළු බණ්‌ඩගෙ මුහුණ දැඩි ශෝකයෙන් බර වෙයි. නෙත් කඳුලෙන් පිරී හැලෙන්න ආසන්නය...."
".... ඉතින් ඒ දෙන්න සතුටෙන් ඉන්නවා නං දීග ගියාම මොකෝ...."
"මහත්තයා.... ඒක මිනීමරු අසත්පුරුෂයෙක්.... මගෙ කෙල්ලවත් මරා දාවි ඌ...."
"..... රන්මලී ටිකිරිට ආදරේ හින්දනෙ.... දීග ගිහින් තියෙන්නෙ.... ඉතින් මරා දාන්නෙ අහවල් දේකටයෑ.....?"
"....අන්දරවැවේ කාටවත් ඌ අඩංගු කෙනෙක් නෙවි.... හරි දාමරිකයා.... ඔය ටිකිරිය.... අනේ..... අනේ... මට ඕක මැරුවත් හිත් වදින්නෙ නෑ.... මට කරපු කඩප්පුලි වැඩේට...."
කළු බණ්‌ඩාගේ ඇඟ පුරාම සලිත වන ආවේගය හා ශෝකය මුහුණින් පිටවන්නට තතනන්නාක් මෙන් පෙනෙයි.
මට කිසිවක් හිතාගත නොහැකි විය.
"....ඇත්තටම මූ රන්මලී මරා දැම්මොත්....?" මගේ සිතද එක්‌තරා අනියත බියකින් පීඩා විඳින්නට පටන් ගත්තේය.
ලිපිකරුවන් හා නිලධාරීන්ද කඩිමුඩියෙන් මෙන් කච්ෙච්රියට ඇතුළු වෙයි. තවත් මිනිසුන් හා ගැහැනුන් කොරිඩෝව දිගේ එහාට මෙහාට යයි. ඔවුන් හැමදෙනාම පාහේ කච්ෙච්රියට පැමිණ ඇත්තේ මොනයම් හෝ රාජකාරියක් කරවා ගැනීම සඳහා විය යුතුය.
කිසියම් ආපදාවකින් මවනා ලද සිත් සතන් ඇති මේ හැම දෙනාගේම මුහුණ දුක්‌බර කතාවක් කියන්නට සෑදී පෑදී සිටින බවක් පෙනෙයි.
ඔවුන් දිසාපති තුමා බැහැදැක මේ සියලු දුක්‌ගැනවිලි කියවා සිත් සැහැල්ලු කරගෙන ආපසු සිය නිවෙස් බලා යනු ඇත.
".... වරෙන් තේ බොන්න යන්න...." ඇතුළේ සිට එකෙක් කෑ ගැවේය.
".... උඹ පලයන්.... මං එන්නම්...."
කළු බණ්‌ඩාගේ මුහුණින් කඩා හැලෙන ශෝකය මගේ හදවතට අනින්නාක් මෙන් මට දැනෙයි.
".... උන් දෙන්නට සමාවක් දෙන්න හිතෙන් නැද්ද?... ඉතින්...."
".... මොනවද මහත්තයො කතා කරන්නෙ....
තවත් සමාවක් මොකද්ද....මෙලහකටත් ඒක මගෙ කෙලී රන්මලීට මොනව මොනව කරලද කියලා කවුද දන්නෙ...."
"....ඇයි· ටිකිරි රන්මලීට ආදරේ ඇති.... රන්මලිත් ටිකිරිට හොරෙන් හරි ආදරේ කරන්න ඇති.... ඒකයි උන් දෙන්න ඔහොම හොරාට දීග යන්න ඇත්තෙ...."
"රන්මලී ලස්‌සනද...."
මම මඳක් බියෙන් මෙන් කළු බණ්‌ඩාගෙන් ඇසීමි.
ඔහු දිගු සුසුමක් හෙළීය. එය දැවෙන හදවතකින් නිකුත් වූ ගිනි දැල්ලක් බඳු විය. මුළු ලොවම දැවී යන්නට ඇතැයි මට හැඟෙයි.
".... ඒකි උන්ගෙ අම්මා වාගෙන මහත්තයා.... රන්මලීගෙ අම්මා අන්දරවැවට ගෙනා සන්දියෙ ගමේ කවුරුත් කිව්වෙ ඇගෙ වරුනාවමයි. දැක්‌ක කෙනෙක් දෙතුන් සැරයක් හැරි හැරී බැලුව ඈ දිහා.... මේ පුරසාරම් නෙමේ මහත්තයො.... ඒ වුණත් අපි ජීවත් වෙන්නෙ වන්නියෙනෙ.... කැලේනෙ..... ඉතින් ඔය කැලෑවට මොන ලස්‌සනද්ද?.... අපරාදෙ මගෙ පවටද කොහෙද ඒ ගෑනු මනුස්‌සයා මැරිලා ගියා.... රන්මලිත් උන්ගෙ අම්මා වාගෙ තමා.... ඇහැට කනට පේන්න හිටිය හිරිමල් කෙල්ල...."
".... ඒක තමා එහෙනං...."
".... ඒක නෙමෙයි මහත්තයො...."
"එහෙනං...."
".... උගෙ තියන නොසන්ඩාල කමනෙ...."
".... උන් දෙන්න ආදරෙන් පවුල් කනවනං මට කමක් නෑ.... නමුත් මට අවිශ්වාසයි. ඕක එපා කරපු මිනීමරුවනෙ. ඔයිට කලිනුත් අන්දරවැවේ හිටපු රූප සුන්දරියක් වාගෙ එකියක් ඕක අරන් ගිහින් අනාථ කරලා මරලා දැම්මා..... ඕක මිනී මරුවෙක්...."
දාරක ප්‍රේමය යනු හදවතේ පතුලෙන්ම උපන් ඇට ඇට මිදුළු ඔස්‌සේ ගලා ගිය අව්‍යාජ සිතිවිල්ලකි. එය සියලු සිත් සතන් තුළම අන් හැමටම උඩින් නැඟී සිටින්නේය.
කළු බණ්‌ඩාගේ හදවතද දැන් ඒ දාරක ප්‍රේමය විසින් සසල කර තිබේ. අවිනිශ්චිත අපූරු අගාධයකට ඔහුව ඇද දමා ඇත. මේ ඔහු වෑයම් කරන්නේ ඉන් ගොඩ ඒමට නොවෙද?
ජීවිතය පුරාම ආදරය ප්‍රේමය සැපත සොයන මිනිසුනට අවසානයේ ඉතිරි වන්නේ දුක පමණකි. සංසාර චක්‍රය තුළ රවුම් ගසන අප කාගේත් ඉරණම එයයි.
සර්ව සාධාරණ සනාතන දහම් ලෝකයේ තිබිය නොහැකිය. අප ජීවත් වන්නේ ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා වෙනස් වන ලෝකයේ සිදු වන ක්‍ෂණික වෙනස් වීමද සමඟය.
මිනිසා ජීවත් වන්නේ කොයි තරම් අපේක්‌ෂා සහගතවද? එහෙත් ඒ එකද අපේක්‌ෂාවක් පිළිබඳවත් ඔහුට තිර සහතිකයක් නොමැත.
කළු බණ්‌ඩාද මැදි වී සිටින්නේ එවැනි තත්ත්වයකටය. එය කාටත් සර්ව සාධාරණ ධර්මතාවක් බව මට හැඟෙයි.
ඔහුගේ දැවෙන හදවතට තාවකාලික හෝ සුවයක් ලබාදීමට මට ශක්‌තියක් නැත.
මිනිස්‌සු හා ගැහැනු දිසාපති කාමරය අසල නොඉවසිලිව සිටිති.
"..... දිසාපති හාමුදුරුවො දැන්ම එයිද මහත්තයො...."
කළු බණ්‌ඩා යළිත් මගෙන් විමසයි. ".... වෙනද නම් මේ වෙනකොට ඇවිත්.... අද තව නැත්තෙ මොකද දන්නෑ.... දැන් එයි...."
කළු බණ්‌ඩා බෙහෙවින් නොසන්සුන් භාවයකින් මෙන් පසු වෙයි.
ඔහුගේ හදවතින් නැගි අදෝනාව මගේ හදවතට යවුලකින් මෙන් පහර දෙයි.
මම සෙල් රුවක් වූයෙමි.
ඔහු ප්‍රේමයත් ශෝකයත් අතර අතරමංව අසහනයට පත් අසරණයෙකි.
දැනටමත් සිදු වූ හෝ ඉදිරියේ සිදු වන්නට ඉඩ ඇති ශෝචනීය සිද්ධියක අඳුරු සිත්තම් ඔහුගේ මනස පුරා ඇඳී ඇඳී මැකී යනවා විය හැකිය.
ඔහුට පීතෘ ප්‍රේමය විනා රන්මලීගෙන් ලැබෙන වෙනත් සම්පතක් නැත.
ටිකිරිය ඊයේ ඇයගෙන් අසීමිත තෘප්තියක් අත්පත් කර ගත්තා නිසැකය. රන්මලී ටිකිරිට පිදූ ආදරය ඔහු බිඳී ගිය සෙල්ලම් බඩුවක් සෙයින් ඉවත දමාවිද?
කළු බණ්‌ඩා ඔවුන් දෙදෙනා මත්තේම වැලපෙන්නේ ඇයි?
මිනිසාට ජීවිතයේ ස්‌වරූපය හඳුනාගත නොහැකිය. ආදරය, ප්‍රේමය, දුක, ශෝකය වැනි ස්‌වභාවයන් තුළ දෝලනය වන මානව සිත්සතන් අවසානයේ මිරිඟුවකි.
".... ක්‍රීං.... ක්‍රී.... ක්‍රී...."
දිසාපති කාමරය තුළ ටෙලිෆෝනය නාද වෙයි.
දෙපසට ඇරෙන දෙපියන් දොරින් ඇතුළු වූ සිරිපාල (ආරච්චි) පිටතට පැමිණෙන තුරු සියල්ලෝම අවධානයෙන් බලා සිටිති.
"....අද දිසාපති තුමා හම්බවෙන්න බෑ.... මිනීමැරුමක්.... නඩුකාර උන්නාන්සෙත් එක්‌ක උන්නාන්සෙත් රාජකාරියට ගියා කියලා ටෙලිෆෝන් කෙරුවා...."
ඔහු කොරිඩෝව දිගේ ඇවිද යමින් සියල්ලන්ටම ඇසෙන සේ හඬ නඟා කීය.
".... කොහෙද සිරිපාල, මිනීමැරුම...."
"....අන්දරවැවේ ලු සර්...."
" අන්දරවැවේ...."
මට මගේ සිත වාවාගත නොහැකි විය...
".... එහෙනම් ඌ මිනී මරුවෙක්‌ම තමා...."
තුවාය අතට ගත් කළු බණ්‌ඩා පියගැට පෙළින් පැන දෙනෙත් පිස දමමින් කඩමණ්‌ඩිය දෙසට දිව ගියේය.
ගොඩ ගත් මසෙකු සෙයින් ගැහෙන මගේ හදවත වාවා ගැනීමට මම මොහොතක් අසුනට බරව හිස මේසයේ ගසා ගත්තෙමි.
"මේ උඹල දෙන්නගෙ ඕක හැමදාම ඔහොම හරියන්නෙ නෑ. දෙන්න එක්‌ක වරෙං යන්ඩ නඩුකාර උන්නාන්සෙ ළඟට. මං උඹල දෙන්න එක්‌ක යන්නං" යි පොඩි සිංඤො මාමා හිසේ බැඳ තිබූ තුවාය හැඳ සිටි අත් දිග මේස් බැනියමට උඩින් දකුණු උරහිස මතට වැටෙන සේ කරේ දමා ගනිමින් කීවේ ආයෙත් දවසක සිරිලුත් ගුණරත්නත් තදේටම වාග් ප්‍රහාරයක පැටලෙමින් සිටිනු ඇහැ ගැටුණු මොහොතකය.
නාරංගොඩ ගමේ ඇතැම් දෙනා විස්‌සෝපයට පත්ව සිටියේ කරදර කම්කටොල්ලක් වූ විටෙක හරිහමං උපදේශයක් ගුරු හරුකමක් ගන්නට ගමේ උගතකු නැතිකම ගැන ය. මහපාර මැදි කරගෙන පිහිටි නාරංගොඩ ගම උගතුන් බිහි නොවූ ගමක් ම නොවේ. බිහිවූ උගතුන්ද දහ පහළොස් දෙනාගෙන් හතර දෙනකුම පිටරට පදිංචි ය. ඉතිරි සියලු දෙනාම කොළඹ ය.
කල්යැමේදී ගම්මුන්ගේ මේ කනස්‌සල්ල දුරු වූයේ නොසිතූ පරිදිය. ඒ අයිවන් මහතා ස්‌ථිර පදිංචිය සඳහා ගමට පැමිණීමත් සමඟය. අයිවන් මහතාට මුලින්ම ලැබුණේ රජයේ නීති ක්‌ෂේත්‍රයේ රැකියාවකි. ඔහුගේ සුදුසුකම්, දක්‍ෂකම්, කැපවීම් සහ වෙනත් මානුෂීය ගුණාංග කැපී පෙනීම නිසා වැඩි කල් නොගොස්‌ම ඔහු අධිකරණයේ විනිශ්චයකාර පදවියකට හිමිකම් පෑවේය. එම තනතුරේ ඔහු සේවය කරනු ලැබූයේ රටේ බොහෝ දෙනකුගේ ගෞරවයට පාත්‍ර වෙමිනි. මොහුගේ නඩු තීන්දු බැලීමට ඇසීමට මෙන්ම පුවත්පත් මගින් කියෑවීමට ප්‍රිය කළ අයද බොහෝය. ඒ අන් කවරක් නිසාවත් නොව ඒවායේ තිබූ ඉහළ මට්‌ටමේ සාධාරණ බව නිසාමය.
නියමිත වයසේදී විශ්‍රාම ලැබූ අයිවන් මහතා සිය දරු පවුලත් සමඟ ගමේ මහ ගෙදරට ස්‌ථිර පදිංචියට යෑමට කල් ඇතිවම තීරණය කරගෙන සිටියේය. ඉතාම චාම් ගති පැවතුම් තිබූ අයිවන් මහතා කවදත් ප්‍රිය කළේ ගමේ පරිසරයටය. මොහු ගමේ නිවසට පදිංචියට ආ දා ඔවුන් වෙත සුහදතාව පළ කරන්නට පැමිණි නාරංගොඩ ගමේ අය බොහෝය. එයින් බොහෝ දෙනකු ආවේ කැවුම්. කොකිස්, අළුවා, වැලිතලපා, කෙසෙල් යනාදී වූ කැවිලි පෙවිලිද අතැතිවය. සමහරුන් රැගෙන ආවේ තම තමන්ගේ කුඹුරුවලින් ලබාගත් අස්‌වැන්නෙන් සැකසූ අලුත් සහල් ය.
එදින අයිවන් මහතාගේ නිවසට එන්නට නොහැකිවූ අයත් මේ ගැන ඒතරම් ම උනන්දුවක් නොදැක්‌වූ සමහර අයත් අයිවන් මහතාගේ නිවෙස අසලින් යන එන ගමන් සෝදිසි කරන්නට පටන් ගත්තේ හැමදා ම වාගේ වත්තේ පිටියේ මොන මොනවා හෝ වැඩවල යෙදෙන කොට කලිසමක් ඇඳි තොප්පියක් පැලඳි වඩා නොඋස් මේ පුද්ගලයා කවුදැයි යන්නය. දින සති ගෙවී යද්දී ඒ කාටත් ආරංචි වූයේ ඒ හිටපු නඩුකාර උන්නාන්සේ කෙනකු බවය. කෙසේ වුවද ඔහුගේ එම හැසිරීම් රටාව ගැන ගමේ ඇතැම් දෙනා කතාබහ කරන්නට පටන් ගත්තේ බස්‌නාහිරින් ඉර පෑව්වාක් මෙන්වූ මහා පුදුමයකිනි. ඒ වෙලාවල්වලදී ගමේ වියපත්ම පුරුෂයා වන මුදියන්සේ ආතා කීවේ "ඕකේ ආයේ පුදුම වෙන්ඩ දෙයක් නෑ බං, ඔය ලොකු ලොකු තානාන්තර කොරන ජපානේ දොස්‌තරල, ඉංජිනේරුවො, නඩුකාරයො, ඔය කවුරුත් එහෙම තමයි. ඒ ඇත්තො රාජකාරියේදී ටයි කෝට් ගහගෙන ඒ වැඩේ කොරනව. අනෙක් වෙලාවට ඔය මොකක් හරි වැරැහැලි ඩිංගක් පටලෝ ගෙන ඔළුවෙ ජටා පතයක් බැඳගෙන වත්ත පිටියෙ වැඩ. ඔය පැන්සොන් පිට ඉන්න අපේ නඩුකාර උන්නාන්සෙත් අන්න එහෙම කෙනෙක් තමයි බොලව්" යනුවෙනි.
මාසයක් හමාරක් ගෙවී යද්දී කාන්තාවෝ කිහිප දෙනෙක්‌ම අයිවන් මහතාගේ පිහිට පැතූහ. ඒ පවුලේ අඬ දබර බේරුම් කර ගැනීම සඳහාය. මේ කොයිම මොහොතකවත් අයිවන් මහතා තමා වෙතට මෙලෙසින් එන අසල්වාසීන් කරදරයක් ලෙස සැලකුවේ නැත. දැන් හරියට අයිවන් මහතා ගමේ නඩුකාරයා වැනිය. ඔහු දෙන උපදෙසකට තීන්දුවකට එකඟ වෙනවා මෙන්ම ක්‍රියාත්මක කරනවා හැර ඊට විරුද්ධ වීමට මෙන් ම අනවශ්‍ය ලෙස තර්ක විතර්ක කිරීමට ගම්මු හීනෙකින්වත් නොසිතූහ. ගමේ අයට ඔහු ගැන තිබූයේ අසීමිත වූ විශ්වාසයකි. මහත් වූ ගෞරවයකි. භක්‌තියකි. අනෙක ගම්මුන් කුමන ගැටලුවක් රැගෙන ගියද එහෙත් මෙහෙන් විමසා බලා උපදෙස් දීමක්, තීන්දුවක් දීමක් කිසිසේත්ම නැත. එය හරියට උසාවියේදී මෙන් මය. සියලු තොරතුරු එකින් එක විමසා බලා කාරණය හරි හැටියටම තේරුම් ගැනීමෙන් පසුව පමණක් විසඳුම දෙන්නේ ය. එය එක් දිනකදී අවසන් කිරීමට නොහැකිවේ නම් නැවත පැමිණීමට උපදෙස් දීමටද අයිවන් මහතා අමතක නොකරයි.
විශ්‍රාම දිවියේ දී අයිවන් මහතාට නිරවුල් කරදීමට වැඩියෙන්ම අවස්‌ථාව ලැබුණේ ස්‌වාමි බිරිඳ ඝට්‌ටනයන් ය. ඒ අතර ඉඩම් මායිම් හබයක්‌ද නිරවුල් කිරීමට අවස්‌ථාව ලැබුණේ පළමු වරටය. එම ආරාවුලට මැදිව සිටියේ ගමේ මැදි වයසේ ගෘහ මූලිකයන් දෙදෙනකු වූ සිරිල් සහ ගුණරත්න ය. එම දෙදෙනාම ජීවිකාව හැටියට කරනු ලැබූයේ හේන් ගොවිතැන ය. එයිනුත් ඔවුන් වැඩිපුරම කළේ තවමත් බලපත්‍ර නොලද ඉඩම්වල හේන් වගාව ය.
ඔවුන් දෙදෙනාගේ ඉඩම් කැබලි දෙකේ මැද මායිමට දැන් කාලයක් තිස්‌සේ ම දෙදෙනාට දෙදෙනා ආරවුල් කර ගනිමින් සිටිති. හැමදාම ආරවුල් කරමින් සිටිනවා මිස මෙය නීතිය ඉදිරියට ගෙන යෑමක්‌ද නොවිණි. එයට එක් හේතුවක් වූයේ මෙම ඉඩම්වලට තවමත් නීත්‍යනුකූල බලපත් නොලැබීමය. මේ අතර දිනක් ගමේ වැඩිහිටියකු වූ පොඩිසිංඤො මාමාගේ ඉල්ලීමට අනුව සිරිලුත් ගුණරත්නත් අයිවන් මහතාගේ නිවෙස බලා ගියෝය. එම ගමනට පෙරමුණ ගත්තේ පොඩිසිංඤො මාමා ය. තිදෙනා යන විට අයිවන් මහතා සිටියේ ඉස්‌තෝප්පුවේ වූ හාන්සි පුටුවකට බරදී ඉංගිරිසි පත්තරයක් බලමිනි.
"සර් අනේ· අපේ මෙන්න මේ ගොයියො දෙන්නගෙ මේ ඉඩම් හුටපටයක්. සර්ට කියල ඩිංගක්... සර්· මේ ගුණරත්න ගොයිය, මේ සිරිල් ගොයිය..." පොඩිසිංඤො මාමා කාරණය විස්‌තර කරන්නට පටන් ගත්තේ දකුණු කරේ තිබූ තුවාය දෑතට ගනිමින් දැඩි යටහත් පහත් ඉරියව්වෙනි.
කාරණයට ඇහුම්කන් දුන් අයිවන් මහතා ගැටලුවට මැදි වී සිටි දෙදෙනා දෙස බලමින් ම ප්‍රශ්න ගණනාවක් ම ඇසුවේය. ඒ හරියට මිහිඳු මහ රහතන් වහන්සේ දේවානම්පියතිස්‌ස මහ රජතුමාගෙන් ප්‍රශ්න ඇසුවාක් මෙනි. නො එසේ නම් එය ඊටත් එහා ගියා වැනිය. එම ප්‍රශ්න අසා අවසානයේ දී තාවකාලික තීන්දුවක් දීමට යුහුසුලු වූයේය.
"හොඳයි· මේ ඉඩම් දෙන්න ම අල්ල ගෙන තියෙන්නෙ එකම කාල වකවානුවෙ. ඉඩම් දෙකේ ප්‍රමාණයත් බොහෝ ම සමානයි නේද? හේන් වගාව මිසක් දෙන්නම ස්‌ථිර භෝග දාල නෑ. තාම අනවසර නිසා ඒක බොහෝම හොඳයි.
"එතකොට මේ මැද මායිමට තමයි දෙන්නගෙ ප්‍රශ්නෙ තියෙන්නෙ... නේද? කමක් නෑ. අපි ඕක ඉඩමට ගිහිල්ලම විසඳ ගන්න බලමු. මට පුළුවනි හෙට උදේ ඉඩමට එන්න.. මං එනකොට දෙන්න ඇවිල්ල ඉන්න... ඒ එනකොට එක් කෙනෙක් කොහු ලණු කැරලි දෙකක් තුනකුයි අලවංගුවකුයි ගේන්න ඕනෑ. අනෙක් එක්‌කෙනා ගේන්න ඕනෑ පැළ ඉනි විසිපහක් තිහක්... ඒ දේවල් ගේන්න පුළුවන් නේද?" මෙම ගැටලුව විසඳා ගැනීමට දෙදෙනාගේ ඇති උනන්දුවත් එම වගකීම පවරන ගමන්ම පරීක්‍ෂා කර බැලීමට අයිවන් මහතා අමතක නොකළේය.
"පුළුවන් සර්" ගුණරත්න සහ සිරිල් එකවරම වාගේ පිළිතුරු දුන්නේ අයිවන් මහතාගේ මුහුණ දෙස එක එල්ලේ ම බලාගෙන ය.
"ඔව්. දැන් කවුද පැළඉනි ටික ගේන්නේ?" හිටගෙනම කතාබහට එක්‌ව සිටින දෙදෙනාගේ මුහුණු දෙසට දෑස් මාරු කරමින් අයිවන් මහතා විමසීය.
"මම සර්·" සිරිල් ගුණරත්න දෙස බලන ගමන් ම පිළිතුරු දුන්නේය.
"හරි... එතකොට අනෙක් කෙනා අනෙක් කියපු කළමනා ටික... අ... හරි... එහෙනං අපි හෙට උදේට ඒ විදිහට වැඩේ කරමු. මේ... එහෙම නං මාත් එක්‌ක යන්ඩ පොඩි සිංඤො ලොකු උන්නැහේට අපේ ගේ ළඟට එන්ඩ පුළුවන් නේ. එහෙම නං ගේ ළඟට අටයි හතළිස් පහ විතර වෙනකොට එන්ඩකො."
"එහෙමයි සර්·" පොඩිසිංඤො තරමක් පහතට නැමෙමින් ගරු පක්‍ෂපාතී ලෙස පිළිතුරු දුන්නේ ය.
පසුදා නියමිත වේලාවට සිවුදෙනාම එකතු වූහ. අවශ්‍ය කළමනා ද ඉඩම් හිමියන් දෙදෙනා ගෙනැවිත් තිබුණි. කාර්යය ඇරැඹීමට පෙර අයිවන් මහතා ඉඩම් කැබලි දෙකේ පිහිටීම් යනාදී භෞතික තොරතුරු පිළිබඳව වගාකරුවන් දෙදෙනා සමඟ මුලින්ම ඒවායේ ඇවිද බැලුවේය. ඒ යන අතරතුර ම එදා ගෙදරදී නොඇසූ තවත් වැඩි විස්‌තර හාර හාරා මතු කර ගත්තේය. අනතුරුව ඉතා සංයමයෙන් යුතුව දෙදෙනා වෙත මූලික මඟ පෙන්වීමක් කිරීමට පටන් ගත්තේය. තැන් තැන්වල බුලත් කෙළ පාරවල්ද ඉහිමින් මේ පසුපස හීන් සීරුවට පොඩිසිංඤො මාමාද ඇවිද ගෙන ගියේ මෙම ඝට්‌ටනය ඉවරයක් කර ගැනීමේ ඕනෑකම සිරිල්ටත්, ගුණරත්නටත් වඩා තමාට ඇති බව නොකියා කියන්නාක් මෙනි.
"ඔව් දැන් අපි වැඩේ කරන්නෙ මෙහෙමයි..." අයිවන් මහතා සිරිල් සහ ගුණරත්න යන දෙදෙනාගේම අවධානය තමා වෙතට යොමු කරවා ගැනීමෙන් අනතුරුව දෙදෙනාගේම මුහුණු දෙසට දෑස් යවමින් කරුණු පැහැදිලි කිරීම ආරම්භ කළේය. "දෙන්නගෙන් එක් කෙනෙක් ඉදිරිපත් වෙලා මැද මායිම ලකුණු කරන්න ඕනෑ... ඊට පස්..." අයිවන් මහතාට උපදෙස් දීම සම්පූර්ණ කිරීමට ඉඩ ලැබුණේ නැත.
සිරිල් තකහනියේම කට ඇරියේය. "ආ ඒක මං කරන්නං"
"නෑ සර් ඒ වැඩේ මං කරන්නං" සිරිල් ඇරපු කට වහන්නටත් කලින් ගුණරත්න කීවේය.
දෙදෙනාම යම් වේලාවක් මේ ආකාරයට මාරුවෙන් මාරුවට තරග කෙරෙන හැටි සුළු වේලාවක් නිහඬව බලා සිටි අයිවන් මහතා උපදෙස් දීමේ කාර්යය යළි පටන් ගත්තේය.
"මෙහෙමයි... මගේ උපදෙස් දීම තාම ඉවර නෑ. පටන් ගත්තා විතරයි. ඉස්‌සෙල්ලම හොඳට අහගන්න... ඇහුම්කන් දෙන්න" යි අයිවන් මහතා කීවේ මටසිළුටු ලෙස වුවද යම් අවවාදයක් ද කරන ස්‌වරූපයෙනි. දැන් දැක්‌කනේ මැද මායිම ලකුණු කරන්න පුදුම පොරයක්‌නෙ දෙන්නගෙ තිබුණෙ... ආ ඒක මං කරන්නං... නෑ නෑ මං කරන්නං කියල... නේද? එහෙම නොවෙයි. ඉස්‌සෙල්ල හොඳට අහගන්න මගේ මේ උපදෙස් දීම ඉවර වෙලා මං කිව්වට පස්‌සෙ තමයි දෙන්නගෙන් එක් කෙනෙක් ඉදිරිපත් වෙලා මැද මායිම ලකුණු කරන්න ඕනෑ. හරිද? ඊට පස්‌සෙ තමයි වැදගත්ම කාරණේ. පස්‌සෙ ඒ මායිම ලකුණු කරපු කෙනා පොඩ්ඩක් පැත්කට වෙන්න ඕනෑ. ඒ වගේම තමයි මායිම ලකුණු කරල ඉවර වුණාට පස්‌සෙ එයාට මොකුත්ම කතා කරන්නත් බෑ... හරිද? ඒ මොකද අපි අනෙක් එක්‌කෙනාට තමයි, ඒ කියන්නෙ මැද මායිම ලකුණු කරන්න මැදිහත් නොවුණු කෙනාට තමයි පළමුවෙන්ම අවස්‌ථාව දෙන්නෙ. මොකටද? ඒ ඉඩම් කොටස් දෙකෙන් තමන් කැමති එකක් තෝරා ගන්න. ඊට පස්‌සෙ ඉතුරු වෙන කොටස තමයි මායිම ලකුණු කරපු එක්‌කෙනාට ලැබෙන්නෙ... හරිද?" දෙදෙනා ටික වේලාවක් තුෂ්නිම්භූත වී බලා සිටියෝය.
"හරි, හොඳයි එහෙනං දෙන්නගෙන් එක් කෙනෙක් ඉදිරිපත් වෙලා මැද මායිම ලකුණු කරන්නකො බලන්න" යි කියා අයිවන් මහතා නිසොල්මන්ව බලා සිටියේය.
"ආ ඒ වැඩේ ඔයා කරන්න" යි සිරිල් ගුණරත්නට තකහනියේම කීවේය.
"නෑ නෑ ඔයා කරන්න" යි ගුණරත්න සිරිල්ට කීවේය. දෙදෙනා අතර ටික වේලාවක් මෙම පැවරුම් හුවමාරුව පැවතියේය. අයිවන් මහතා නිසොල්මනේ බලා සිටියේ අවශ්‍ය වුවහොත් ඊළඟට අවශ්‍ය සුදුසු උපදේශය දීම සඳහා ය.
ටික වේලාවකට පසු ගුණරතන නැවත කතා කළේය. "සර්· මේක මෙහෙම හරියන්නෙ නෑ. ඒ වැඩේ අපි දෙන්නම එකතුවෙලා කළොත් මොකද?"
"ඔව්· බොහෝම හොඳයි, බොහෝ ම හොඳයි. අනෙක් එක්‌කෙනා මොකද කියන්නෙ?"
"එහෙමයි සර්· මාත් කියන්නෙ දෙන්නම එකතුවෙලා ඒ වැඩේ කරන්නං කියල" සිරිල් තාමත් කළු ගැහී පවතින මුහුණ අයිවන් මහතා දෙසට පාමින් කීය.
"හොඳයි· එහෙමද? එහෙනං දෙන්නම එකතුවෙලා වැඩේ කරමු. මාත් ඒකට බොහෝම කැමැතියි"අයිවන් මහතා දෙදෙනාටම ආශීර්වාද කරන්නාක් මෙන් කීවේය.
"හැබැයි දෙන්නගෙන් එක්‌කෙනෙක් හරි වැඩේ හරියට වුණේ නෑ කියල අපිට කියා හිටියොත් එහෙම මම මැදිහත් වෙනවා වැඩේට. එතකොට සමහර වෙලාවට ඉඩම් කෑලි දෙක දෙන්න අතරෙ මාරු වෙන්න වුණත් පුළුවන්... හොඳ ද?"
හැඳ සිටි සරොම් කැසපොට ගසාගත් සිරිලුත්, ගුණරත්නත් ටික වේලාවක් ඉඩම්වල ඇවිද බලා මැද මායිම ලකුණු විය යුතු ඉසව්ව තීරණය කරගෙන අයිවන් මහතාට දැනුම්දීමට තීරණය කර ගත්හ. තීරණය දැනුම්දීමට මෙවර ඉදිරිපත් වූයේ සිරිල් ය. ඔවුන්ගේ මෙම කාර්යයට පොඩිසිංඤොa මාමා ද පුළුවන් විදිහට උදවු වූයේ දැඩි වූ ළෙන්ගතුකමකිනි.
"සර්· හරි අපි මැද මායිමේ ලයින් එක තීරණය කර ගත්තා"
"හොඳයි බොහෝම හොඳයි. ඒක වුණේ දෙන්නගෙම කැමැත්තෙන්ද?"
"එහෙමයි සර්" යි දෙදෙනාම එකවර එකම පිළිතුර බැන්ඳේ සතුට වැඩිකමට ය.
"පස්‌සෙ දෙන්න අතරෙ ආයෙමත් ඕකට මොකුත් ප්‍රශ්න ඇතිවෙන තත්ත්වයක් හෙම එයිද?"
"නෑ නෑ සර්· ඒක පිරිසිදුවටම කෙරුණා. දැන් කෙළින්ම ලණුව අල්ලල ඉනි ටික හිටෙව්වා ම හරි. පස්‌සෙ දෙන්නත් එක්‌ක හොඳට වැට ගහ ගන්නව" යි සිරිල් කීවේ ගුණරත්න ද වෙනුවෙනි.
"එතකොට ඉඩම් කැබලි දෙක දෙන්න අතර මාරුවීමක් වෙන තත්ත්වයක් එහෙම මතු වුණාද?"
"නෑ නෑ සර්· ඒ තිවුණු විදිහමයි" ගුණරත්න කීය.
"ඔව් සර්· ඉඩම් කෑලි මාරු කර ගන්න තත්ත්වයක් මේකෙ නෑ නොවැ. අර සර් මුලින් කිවූ හැටියට අපි තනි කෙනා වැඩේ කොරන්න බැස්‌සනං එහෙම තත්තෙයක් එන්න තිබුණ" සිරිල් වැඩිදුරටත් කීවේ වැඩිමනත් යමක් තේරුම් ගත් බවක්‌ද ඉඟි කරමිනි.
"එහෙමයි සර්· මං ඉතිං ළඟ නෙවැ, වැඩේ හොඳට පිරිසිදුවට ම කෙරුණ. සර්ට පිං සිද්ධ වෙන්ඩ ඕනෑ" පොඩිසිංඤො මාමා මහත් සතුටිනුත් ගෞරවයෙනුත් කියා සිටියේ අයිවන් මහතාගේ විශ්වාසවන්ත ම ගෝලයාගේ චරිතය රඟපාන්නාක් මෙනි.
"එහෙමද? එහෙනං ඒ ලයින් එකට ලණුව අල්ලල ඉනි ටික හිටවමු... මේ පැත්තෙ මුලට එන තැනට ඉස්‌සෙල්ල ඉන්නක් හිටවන්නකො බලන්න..."
එම කෙළවරේ පළමු ඉන්න සිටවූ පසු අයිවන් මහතා ලණුවේ එක් කෙළවරක් එහි ගැට ගැසුවේය. ඊළඟට යළිත් සිරිල්ටත්, ගුණරත්නටත් ළෙන්ගතු වූයේය. "ඔන්න ඒක හරි. එහා පැත්තටත් ඒ ලකුණු කරපු නියම තැන ඉන්නක් හිටවල ලණුව ගැටගහන්න. ලණුව හොඳට ඇදල ගැට ගහන්න. හොඳ ද? ඊළඟට දෙන්නත් එක්‌ක මැද ඉනි ටික හිටව ගෙන එන්න. අඩි දහයෙන් දහයට වගේ ඉනි ටික හිටෙව්වම ඇති... නේද? පොඩිසිංඤොa උන්නැහේ එහෙනං ඒ ඩිංගත් ඉවරයක් කර ගන්ඩ පොඩියක් උදවු වුණොත් හොඳයි..."
කටයුතු අවසන් වන තුරු අයිවන් මහතා ඒ අසල ගසක සෙවණ විඳිමින් සිටියේය. ගැටලුව විසඳාගත් ගුණරත්න සහ සිරිල් විගසින්ම පැමිණ අයිවන් මහතාගේ දෙපා අල්ලා වැන්දෝය. ඒ මොහොතේ දෙදෙනාගේම මුහුණු ලා රෝස පැහැයෙන් බැබළෙන හැටි පොඩිසිංඤො මාමා බලාගෙන ය.
සර්... සර්... කිඹුල් තඩියව ඇල්ලුවා.
කවුද ඇල්ලුවේ.
මමයි... සිරිපාලයි.
කිඹුලා කෝ බං...?
ගම්සභා ගොඩනැගිල්ලේ පිළිකන්නේ...
යකෝ...· ඌ පැනලා යයි...
කඹ දෙකකින් කිටි කිටියේ ගැටගහල ඉන්නේ...
සිරිපාල උඹලා දන්නවද මේ දවස්‌වල විපක්‌ෂේ එවුන්ගේ කටේ තියෙන්නෙම සත්ව ආඥ පනත... ඒක නිසා කල්පනාවෙන් වැඩ කරපල්ලා.
කිඹුලාව ආරක්‍ෂිතව තබා ගැනීමට දිග පළල ශක්‌තිමත් යකඩ කූඩුවක් අවශ්‍ය විය. එක්‌ලක්‍ෂ පනස්‌දාහක් වැය කර යකඩ කූඩුවක් සාදා ගැනීමට සභාපතිතුමා සිය සභාවෙන් පූර්ණ අනුමැතිය ලබා ගත්තේය.
ගම් සභාවට අයත් හිස් ඉඩමක් මධ්‍යයේ කිඹුල් කූඩුව තබා බැමි මුදාහල කිඹුලාව කූඩුව තුළට දැමීය. සතියක් පුරාම ලෝකයේ විශාලතම බියකරුම කිඹුලා ප්‍රදර්ශනයට තබන බව ප්‍රදේශය පුරාම ප්‍රචාරය කරනු ලැබීය. පිටවීමේ සහ ඇතුල්වීමේ දොරටුවක්‌ද පෝලිමේ පැමිණ නැරැඹීමට වැටක්‌ද ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට කවුළුවක්‌ද කාර්යාලය සඳහා කුඩා කුටියක්‌ද මහජනතාවගේ පහසුව තකා ඉදිවිය. පොලිස් ආරක්‍ෂාවද සභාපතිතුමාගේ අණ පරිදි ලබාගත හැකිවී තිබුණි.
ජල බවුසරයන්ද සිය ගම් සභාවේ අනුග්‍රහය මත ලැබුණු අතර සභාපතිතුමාගේ හිතවතුන් විසින් වෙළෙඳ කුටි රාශියක්‌ද ප්‍රදර්ශන භූමියේ ඉදිකරන ලදී. ගම්සභා පිට්‌ටනියට සිව් දෙසින් පැමිණෙන රථ වාහන ගාල් කිරීම පිණිස වෙන්කර දෙනු ලැබීය.
"කිඹුලාගේ කතන්දරය" නමින් පොත් පිංචක් මුද්‍රණය වූ අතර ශබ්ද විකාශන යන්ත්‍ර ඔස්‌සේ විරිදු ගායනාද, හිටිවන කවිකාරයන්ද කිඹුලා ගැන ප්‍රකට ගීත රචකයෙකු ලවා නිර්මාණය කරගත් යුග ගීතයක්‌ද කිඹුලාගේ සැණකෙළි බිම විකාශනය කළේය.
කිඹුල් සැණකෙළි භූමියට ඇතුල්වෙන තැන "ලොව විශාලතම කිඹුලා නැරැඹීමට කිඹුල් අධිරාජ්‍යයට පැමිණෙන ඔබ සාදරයෙන් පිළිගනිමු" ලෙස දැවැන්ත තොරණක් කිඹුලෙකුගේ ආකෘතියකට අනුව නිර්මාණය කර තිබුණි. කිඹුලා නැරඹීම සඳහා වැඩිහිටියෙකුගෙන් රුපියල් විස්‌සක්‌ද දරුවන්ගෙන් රුපියල් දහයක්‌ද විදේශිකයන්ගෙන් රුපියල් තුන්සියක්‌ද අය කරගනු ලැබීය. මෙයින් ලැබෙන ආදායම ජාතික සත්වෝද්‍යානයේ සිටින කිඹුලන්ගේ සුභ සාධනය සඳහා යොදවන බව ප්‍රවේශ පත්‍රයේ පසුපිටෙහි සඳහන් කර තිබීම කැපී පෙනුණි.
අම්මේ.... තාත්තේ....
අපි තමුන්නාන්සේලාගේ කිඹුල් භීතිකාව සදහටම තුරන් කර දැමුවා. වසර දහයක් පුරා අපගේ චිත්ත සන්තානයන් තුළ මර බිය ඇති කළ මිනීමරු කිඹුල් තඩියා අද අපේ සුවච කීකරු ගෝලයෙක් බවට පත්වෙලා හමාරයි.
අපි තව සතියකින් මේ බියකරු කිඹුලා පුනරුත්ථාපනය කරනවා. එහි පළමු පියවර තමයි මේ මහජන ප්‍රදර්ශනය. ඊට පස්‌සේ රුදුරු කිඹුල් භීෂණය සදහටම තුරන්කර දැමිය හැකි බව මං ප්‍රකාශ කරන්න කැමතියි.
අටකලම්පන්න වැවේ තමුන්නාන්සේලාට හිතේ හැටියට නාගන්න, රෙදි ටික හෝදගන්න, දරු පැටව් නාවගන්න, බියක් සැකක් නැතුව අපේ දරුවන්ට දියබුං ගහන්න, රජමහා විහාරයේ හස්‌ති රාජයා නාවන්න, හරකා බාන විතරක් නෙමෙයි බල්ලන්, බළලුන්ගේ වටිනා ජීවිත ආරක්‍ෂා කර ගන්න, ඔරු පාරු පදින්න, ජාකොටු හදන්න. දේශීය මත්ස්‍ය කර්මාන්තය වැඩිදියුණු කරගන්න සාමකාමී වටපිටාවක් ඉතා සූක්‍ෂම ආකාරයට නිර්මාණය කළා...
පෙරවරු නවයට කිඹුල් ප්‍රදර්ශනය ආරම්භ වූ අතර මධ්‍යම රාත්‍රිය දක්‌වා එය පැවැත්වුණි. සමනල වර්ණ විදුලි බුබුළුවලින් සැණකෙළි බිම ඒකාලෝක වූ අතර කිඹුල් කූඩුව පුරාම නිවෙන දැල්වෙන විදුලි පහනින් සරසා තිබුණි. වෙසක් සමයේ රත්මලානේ පහන් කූඩු රාජයා නැරඹීමට එන ජනගඟ සිහිගන්වමින් කිඹුල් රාජයා නැරඹීමට මහත් ජන ගංගාවක් පැමිණියහ. විද්යුත් මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍ය ඔස්‌සේද අන්තර් ජාලය හරහාද කිඹුල් පුවත ප්‍රචාරය කරනු ලැබීය. මේ නිසා සභාපතිතුමාගේ යශෝරාවයද දනන් මුවඟින් නිබඳ මතුවිය.
මං තමයි මේ ආසනයේ ප්‍රධාන සංවිධායක. සභාපතියට යුතුකමක් තියෙනවා කිඹුල් දඩයම කරද්දී කෙසේ වෙතත් කිඹුල් ප්‍රදර්ශනයේදී මගෙන් අවසර ගන්න... මටත් මතක් කරන්න... මාවත් හවුල්කර ගන්න.
මං මේ ආත්මාර්ථකාමී වැඩපිළිවෙළ අරගෙන යනවා පාර්ලිමේන්තුවට... ගේනවා දෝෂාභියෝගයක්... මේකා හදන්නේ තනියම බුදුවෙන්න...
සිය පක්‍ෂයේ සගයන්ගෙන් පවා සභාපතිට විරෝධය එල්ල විය. ඒ වගේම ඇතැම් සගයන් කිඹුල් ප්‍රදර්ශනයට ආශීර්වාද කළේය.
මේ වෙලාවේ අපි සභාපති එක්‌ක ඉන්න ඕනේ. කිඹුල් ප්‍රදර්ශනයට විරුද්ධ වුණොත් අපි ජනතාවගෙන් කැපෙනවා. පේනවනේ ගලන ජන ගඟ...
විකල්ප දේශපාලන කණ්‌ඩායම් නිරන්තරවම මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ප්‍රහාර පිට ප්‍රහාර එල්ල කරන්නට විය.
"කුණු කඳු අද්දර වෙල්යායවල් ගොඩ වෙද්දී... ගස් කපද්දී ස්‌වාභාවික වනාන්තර වැනසෙද්දී... මිනිස්‌සු දවල්ට වතුර නැතුව... රෑට ලයිට් නැතුව ලතවෙද්දී... කිඹුල් ෆැන්ටසියේ අතරමං වෙන්න එපා මිත්‍රවරුනි...
"බලපන් සිරා.... කිඹුලා කන එක ඉවසන්න පුළුවන් කොහිල කටු ඇනෙන එකනේ ඉවසගන්න බැරි..."
කිඹුල් රාජයාගේ ආරක්‍ෂාව සඳහා වැටුප් ලබන සිවිල් ආරක්‍ෂකයන් දෙදෙනකුද පත්කර ඇති බවත් පශු වෛද්‍යවරයකුගේ සේවය ලබාගන්නා බවත් කිඹුලාට තුන් වේලටම එළු මස් ආහාරයට දෙන බවත් අන්තර් ජාලයේ ප්‍රචාරය විය.
"අසහාය කිඹුල් රාජයාට ලස්‌සන නමක් තබා තෑග්ගක් දිනා ගන්න..." තරගය උණුසුම් මුහුණුවරක් ගනිද්දී ගුණපාල සහ සිරිපාලගේද කරල පැසුණු බවක් දක්‌නට ලැබුණි.
"සහෝදරවරුනි, දැවෙන ප්‍රශ්න අමතක කරන්න මෙවර කිඹුල් මොටෙක් ප්‍රදර්ශනය වෙනවා. ඔය කිඹුල් මොටා අඩි විසිහතක් දිග නෑ සහෝදරවරුනි, හරියටම දිග අඩි විසිහය හමාරයි. මෙන්න මේ ටේප් එකෙන් තමයි අපි කිඹුලව මැන්නේ... කවුද කියන්නේ මේ ඉන්නේ ලෝකයේ විශාලතම කිඹුලා කියලා. මුන්ගේ බේගල් ලෝකයේ විශාලම කිඹුලා අන්න ඉන්නවා මිසරයේ. දිග අඩි විසිහතහමාරයි... මේවට අහුවෙන්න එපා සහෝදරවරුනි....
"අයියෝ.... සභාපතිතුමා අපි විනාශයි...."
"කිඹුලා මැරිලා..."
"මේ හොඳට හිටිය සතා" පිස්‌සු කතා කරනවා... ඌ දවසින් දවස හූනෙක් ගානට වැටුණා...
ඉතිං උඹලාට තිබුණනේ පශු වෛද්‍යවරයෙක් චැනල් කරන්න.... තොපි දෙන්න කළේ අර හෝස් පයිප්පෙන් ඌව නාවපු එක විතරමනේ...."
"කිඹුලා මැරිලා නෙමෙයි..."
"අරුන් ඌව මරලා..."
"ඊයේ රෑ අපි දෙන්නට ටිකක් වැඩිවෙලා නින්ද ගියා. අපි ඉඳල හිටලා කිඹුලට කන්න දුන්නේ සාලයෝ කටු මැස්‌සෝ ටිකක් විතරයිනේ... ඌ ගිල්ලෙම කිරිමැටිනේ...
"ගෝණ මස් කුට්‌ටියක් අස්‌සේ හක්‌කා පටස් එකක් හංගලා කිඹුලාට කන්න දීලා...
කිඹුලාගේ අමානුෂික ඝාතනය රට පුරා ප්‍රචාරය විය. ජාතික, විකල්ප පුවත්පත්වල මුල් පිටුවේ ප්‍රධාන ශීර්ෂ පාඨය වූ අතර විද්යුත් නාළිකාවල ප්‍රමුඛ පුවත බවට පත්විය. අන්තර්ජාලය පුරා මහත් ආන්දොaළනයක් ඇති කළේය.
මෙම අමානුෂික කිඹුල් ඝාතනය සෙවීමට රහස් පොලිසියේ බුද්ධි අංශයට යොමු කළ අතර රජය විසින් වැඩිදුර පරීක්‍ෂණ සඳහා සිව්පුද්ගල කමිටුවක් වහාම පත්කරනු ලැබීය.
"අපි අනන්ත අප්‍රමාණ කිව්වා මේ රටේ වගකිව යුත්තන්ට ඔය වගේ අපරාධයක් වෙයි කියලා... කෝ ඇහුවද? එදා ඒ සියල්ල බිහිරි අලීන්ට වීණා වයනවා වගේ වුණා නේද? අපි මේ අපරාධයට එරෙහිව සත්ව හිංසා විරෝධී අවිහිංසා පෙරමුණ ඔස්‌සේ ජනතාව පෙළ ගස්‌සනවා... පාරට බස්‌සවනවා.... නඩු දානවා.... නීතියේ පිහිට පතනවා..."
ජාතික අවිහිංසාවාදී පෙරමුණ කිඹුලාගේ ඝාතනයට එරෙහිව පෙළපාලි, උපවාස, පාගමන් වර්ජන කරමින් ශේ්‍රෂ්ඨාධිකරණය දක්‌වාම ගියේය.
කිඹුලෙකු දඩයම් කිරීම, ම්ලේච්ඡ ආකාරයට රඳවා තබා ගැනීම, හිංසනයට බඳුන්වීම, ප්‍රදර්ශනය කර මුදල් ඉපැයීම, මහජන දේපළ මේ සඳහා අවභාවිත කිරීම, කිඹුලා අමානුෂික ලෙස ඝාතනය කිරීම ආදී කරුණු හමුවේ අධිකරණය සිරිපාල සහ ගුණපාල යන දෙදෙනාට බරපතළ වැඩ සහිතව වසර විස්‌සක් සිරදඬුවම් නියම කළේය.
දැතට වැටුණු විලංගු සහිතව සෝබර මුහුණින් යුතුව බන්ධනාගාර රථයට ගොඩවෙන සිරිපාල සහ ගුණපාලව රූපවාහිනී නාළිකා ඔස්‌සේ වරින්වර ප්‍රදර්ශනය කරනු ලැබීය.
"සත්ව හිංසාව තරයේ හෙළා දකිමු" දැවැන්ත පුවරුවක් සහිත විරෝධතාකරුවන් පිරිසක් උසාවිය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. කිඹුල් කඳුළු හෙළමින් සභාපතිතුමා එම විරෝධතාවයේ පෙරමුණ ගන්නා අයුරු කැමරා කාචවල සටහන්වී අන්තර් ජාලය ඔස්‌සේ ප්‍රචාරය විය.
--
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+unsubscribe@googlegroups.com.
Visit this group at https://groups.google.com/group/indraka.
For more options, visit https://groups.google.com/d/optout.
ගජධීර නැඟිට්‌ටේ වෙනදට වඩා ටිකක් පරක්‌කුවෙලා. ඇඳෙන් නැඟිටල මදුරු දැල ඉවත් කළත් ඔළුවෙ තිබුණු බර ගතිය නිසාම නැවත වතාවක් ඔහු ඇඳේ ඇල වුණා. කවදාටත් වඩා වැඩියෙන් ඊයේ තමන් බීපු බැව් ගජධීර සිහිකළා. එසේ තමන් මත්පැන් පානය කළේ සතුටටද නැත්නම් දුකටද කියන කාරණය තවමත් ගජධීරට තේරුම් ගන්න අමාරුයි. ඔහු බිත්තියේ එල්ලා තිබුණු දින දර්ශනය දෙස බැලුවා. අද 27 බ්‍රහස්‌පතින්දා. සතියේ දවසක් වුණා කියල දැන් ඉතින් ඔෆිස් එකට දුවන්න කියලද? මං දැන් පෙන්ෂන් කාරයෙක්? තමන්ටම ඇසෙන්නට කියාගත් ගජධීර දැස් වසා ගත්තා.
එවක පැවති රජය මේ මණ්‌ඩලය ආරම්භ කරපු වකවානුවේම ලිපිකරුවෙක් වශයෙන් මේ මණ්‌ඩලයට පත්වෙලා ආපු ගජධීර මහත්මයා අද විශ්‍රාම ගන්නේ මෙහි පරිපාලන නිලධාරියා වශයෙන් වසර කිහිපයක්‌ම සතුටුදායක සේවයක් මේ මණ්‌ඩලය වෙනුවෙන් ලබාදීලා. තුන්වන ශ්‍රේණියේ ලිපිකරුවෙක් වශයෙන් මේ මණ්‌ඩලයට බැඳිලා උසස්‌වීම් ගණනාවක්‌ම ලබලා ගජධීර මහත්තයා මේ තත්ත්වයට ආවේ ඔහුගේ අපරිමිත කැපවීම් හේතුවෙන්. ඔහු අපේ මණ්‌ඩලයට සම්පතක්....
"අපේ මහත්තයා ආයෙ නිදාගන්නද? මේ තේ එක බීවනම්..." බිරිය ස්‌වර්ණාගේ හඬින් ගජධීර දැස් විවර කළා. දුම් දමන තේ කෝප්පය සහ වතුර වීදුරුව මේසය මත තැබූ බිරිය කාමරයේ ජනෙල් පියන් දෙක ඇරියා.
"මං මේ කල්පනා කළේ ඊයේ අපේ පාටියේදී සභාපතිතුමා කරපු කතාව ගැන." ගජධීර ඇඳ මත ඉඳගත්තා.
"ඔව් ඉතිං සභාපතිතුමා කියපු කතා ඇත්ත. ඔයා ඉතින් ඔය මණ්‌ඩලය වෙනුවෙන් කොච්චර කැප කිරීම් කරපු කෙනෙක්‌ද?..." ස්‌වර්ණා වතුර වීදුරුව තම සැමියාගේ අතට දුන්නා.
"ඒක නෙමේ. ඊයෙ පාටියට ඇයි පුතා ආවේ නැත්තේ..." ගජධීර කට සෝදා ජනේලයෙන් වතුර පාරක් මිදුලට විද්දා.
"ඔයාට ඒකවත් මතක නැද්ද? පුතා ගිය සතියේ රට ගියානේ..."
" ආ.....එහෙමද?...මට ගාණක් නෑ..."
උදේ ආහාරය ගැනීමෙන් පසු ගජධීර ඉස්‌තෝප්පුවට වී පරණ පුවත්පතක් දිග හැර ගත්තා. විශ්‍රාම වැටුපක් නැතත් විශ්‍රාම දිවිය සතුටින් ගත කරන්න.... පෞද්ගලික බැංකුවක වෙළෙඳ දැන්වීමක් දිගේ ඔහුගේ දැස දුවන්නට වුණා.
"ගඡේ...අපිට අනිත් රජයේ සේවකයන් වගේ පෙන්ෂන් ගිහින් කකුල් දෙක උඩ තියාගෙන පත්තර බලන්න බෑ ලැබෙන මුදලින්. ආදායමක් ගන්න වැඩක් කරන්න වෙනවා..." ඊයේ පාටියේදී විමලසේන කියූ වදන් ගජධීරගේ දෙසවන් තුළ දෝංකාර දෙන්න වුණා. විශ්‍රාම ගිය පසු කළ යුත්තේ කුමක්‌ද පිළිබඳව තමාට අදහසක් නොතිබූ බැව් ගජධීර සිහි කළා.
"ඊයේ ලැබුණු තෑගි ඔක්‌කොම ටික සාලේ මේසේ උඩින් තිබ්බා. අපි ඒව බලමුද?" ස්‌වර්ණාගේ හඬින් ගජධීර පුවත්පතෙන් දැස් මෑත් කළා. ස්‌වර්ණාගේ දැස් දිලිසෙමින් තිබුණා. ගජධීර පුවත්පත වසා ටීපෝව මත තබා නැඟිට්‌ටා.
සාලයේ මේසය මත ගොඩ ගසා තිබූ පාර්සල් දුටු විගස ගජධීරගේ දෑසුත් දිලිසෙන්නට වුණා. විවිධ වර්ණයෙන් යුත් කොලවල ඔතා තිබුණු තෑගි කන්දරාව දෙස ඔහු මොහොතක් බලා සිටියා.
"අපේ මහත්තයට ඉතිං ඔෆිස් එකේ ඔක්‌කොම ආදරෙයි. මහත්තයත් ඉතිං ගෙදරට වඩා ආදරේ කළේ ඔෆිස් එකටනේ." බිරියගේ කතාවට ගජධීර හිස වැනුවා. ඔහු පාර්සලයක් ගෙන දිග හරින්නට වුණා. ස්‌වර්ණත් ඊට උදව් කළා. එහි තිබුණේ බණ පොත් කිහිපයක්. ගජධීරගේ මුවගට සිනහවක් නැඟුණා.
" අපේ ඥාණානන්ද හාමුදුරුවන්ගේ පොත් නේද? කොච්චර වටිනවද? ස්‌වර්ණා පොත් ටික දෝතින්ම ගත්තා.
පාර්සල් ගොඩ අතර තිබුණු කුඩා පාර්සලයක් ගත් ගජධීර එහි වර්ණවත් කොළය ඉවත් කළා. එහි තිබූ අත් ඔර්ලෝසුව ගෙන එය ඔහු පිරිමදින්නට වුණා.
"වටිනා එකක් වගේ නේද? ස්‌වර්ණා තම ස්‌වාමියා අතවූ ඔර්ලෝසුව දෙස බලමින් කීවා.
"ඔව්...ඔයා හීන්සැරේ ඔය තෑගි ටික බලන්නකෝ...." ගජධීර අත් ඔර්ලෝසුව පිරි මදිමින් තම කාමරය වෙතට යන්නට වුණා. කාමරයට පැමිණි ගජධීර ඔර්ලෝසුව තම ලියන මේසය මත තබා ඇඳ යට තබා තිබූ පරණ ට්‍රන්ක් පෙට්‌ටිය ගෙන එය විවෘත කළා. පරණ පොත් පත් දුම් පයිප්පයක්, ගෑස් ඉවර වූ ලයිටරයක්, සමරු පොත් කිහිපයක් එහි පසෙක තැන්පත් කර තිබුණා. අනෙක් පසෙහි වූයේ පිළිවෙළට නැමූ පරණ ඇඳුම් කිහිපයක්. ගජධීර පරණ ඇඳුම් යට තිබූ අත් ඔර්ලෝසුවක් ගත්තා. බැටරි බැස තිබූ ඒ ඔර්ලෝසුව දෙස ඔහු බොහෝ වේලාවක් බලා සිටියා.
නිර්මලා තමන්ගෙන් සමුගන්නට පෙර දුන් මුල්ම සහ එකම ත්‍යාගය මේ ඔර්ලෝසුව බැව් ගජධීර සිහි කළා. තිස්‌වසකට පෙර සිදුවූ ඇගේ වෙන්වීම ඔහු දෙනෙත් පියාගෙන සිහි කරන්නට වුණා.
"අපි ආයෙ ආයෙ හම්බවෙන් නැති වෙයි. අපි දෙන්නට වෙන වෙනම පවුල් තියෙනවා. ගුණරත්න නම් කීවා ටික කලකට පදිංචියට ඇමරිකාවලට යමු කියල. මේ ඔර්ලෝසුව ඔයාට දෙන්නේ වෙලාවට වැඩට එන්න කියන්න නෙමේ. වෙලාවට ගෙදර යන එක මතක් වෙන්න. මීට වැඩිය ස්‌වර්ණා ගැන බලන්න...." නිර්මලා අලුත්ම අලුත් ස්‌විස් ඔරලෝසුව ගජධීරගේ දකුණතෙහි බැන්දා. ඔහුගේ අතට අමුතු සීතලක් දැනුණා.
"මොකද මේ අපේ මහත්තයා පරණ ඔර්ලෝසුවක් අතේ තියාගෙන කල්පනාව." ස්‌වර්ණාගේ හඬින් ගජධීර පියවි ලොවට පිවිසුණා.
"නෑ...මේ...මං මේ ඔර්ලෝසුව ගත්තේ මේ රස්‌සාවට ගිය මුල්ම පඩියෙන්. ඒක මතක් වුණා." ගජධීර පරණ ඔර්ලෝසුව අතින් ගෙන නැඟී සිටියා. ස්‌වර්ණා විශ්මය පිරි දෙනෙතින් ඒ දෙස බලන්නට වුණා.
"ඒත් අපේ මහත්තයා කවදාවත් ඔර්ලෝසුවක් බඳිනවා මං දාකල නෑනේ." ස්‌වර්ණාගේ හඬෙහි වූයේද විශ්මයකි.
"ආ...ඔව්...මුලින් බැන්දා. ඊට පස්‌සෙ ඉතිං මට වෙලාවට වැඩ කරන එක හුරුවුණා." ගජධීර සාලය දෙසට එන්නට සැරසුණා.
"අපේ මහත්තයා ගොඩක් තෑගි නම් හම්බවෙලා තියෙනවා. ගෑස් කුකර්...හොට් ප්ලේට්, අවන්, වීදුරු බඩු, මං මේ කල්පනා කළේ ඒවා කොහෙන්ද තියන්නේ කියලා. ස්‌වර්ණා ගජධීර පසුපසින් සාලයට පැමිණියා.
"ස්‌වර්ණා මං බැංකුවට ගිහින් එන්න යන්න ඕනෑ. ඔයා ඕවා ටික අස්‌පස් කරල දාන්න...."
"මහත්තයා මොන්ඩියා, සීකෝ වගේ පරණ අත් ඔර්ලෝසුවල බැටරිත් අපි ගාව තියෙනව. ඒත් මේකේ බැටරි නම් අපි ගාව නෑ..."
ගජධීර නැවත අත් ඔර්ලෝසුව දෙමින් ඔර්ලෝසු අලුත්වැඩියා කරන මැදිවියේ පුද්ගලයා පැවසුවා. පරණ අත්ඔර්ලෝසුවේ මුහුණත තුළින් ගජධීර අඩවන් දෙනෙත් ඇති නිර්මලාගේ රුව මවා ගැනීමට බොල් උත්සාහයක නියැළුණා.
"ඕක මහත්තයා සුවිස් ඔරලෝසුවක්. ගොඩක් වටිනා එකක්. ගාඩර් එකේ එහා පැත්තේ තියෙනවා ඔර්ලෝසු හදන තැනක්. එතෙන්ට ගිහින් ටිකක් බලන්නකෝ."
ඔර්ලෝසු කාර්මිකයා වෙනත් වැඩකට යොමුවුණා. ගජධීර ඔර්ලෝසුව කලිසම් සාක්‌කුවේ දමාගෙන පාර මාරුවුණා. නගරය බොහෝ වෙනස් වී ඇතැයි ඔහුට සිතුණා. උදේ කාර්යාල දුම්රියට දිව ගියත් සවස දුම්රියෙන් බැස ගෙවල් පාරේ යන බසයට දිව ගියත් නගරයේ බොහෝ කාලයකින් තමා රවුමක් නොගැසූ බව ගජධීරට සිහිවුණා. ඔහු නගරයේ උද්‍යානය දෙසට පිය මැන්නා. එතන පරණ තාප්පය ගලවා දමා උද්‍යානය වටේට ව්‍යායාම තීරුවක් ඉදිකර තිබුණා. උද්‍යානයට ඇතුළුවූ ගජධීර වටපිට බලා අසල තිබූ කොන්ක්‍රීට් බංකුවක් මත වාඩිවුණා. ඔහුට ජීවිතය පිළිබඳ මහා හිස් බවක් දැනෙන්නට වුණා. දැන් තමා යටතේ වැඩ කරන පිරිසක් හෝ තමාට "සර්" කියන සේවක පිරිසක් නොමැති බැව් ගජධීර සිහිකළා. කාර්යාලයෙන් තොරව තමාට ජීවත් විය හැකිද යන්න පිළිබඳව ඔහු නැවත නැවතත් සිතා බැලුවා. කලිසම් සාක්‌කුවට අත දැමූ ගජධීර පරණ අත් ඔර්ලෝසුව නැවතත් අතට ගත්තා.
නිර්මලා දැන් කොහේ ඇත්ද? තමාටම අසෙන්නට කියා ගත් ගජධීර සුසුමක් හෙළා ළය සැහැල්ලු කර ගන්න උත්සාහ කළා.
නිර්මලාව දැක ගැනීමේ බලවත් ආශාවක් ඔහුට උපන්නා.
"ගජේ...කුරුණෑගලදී දවසක් මට නිර්මලාවයි එයාගේ මහත්තයයි හම්බ වුණා. ඒ ගොල්ලන්ගේ දුව දැන් ඇමරිකාවේ කැම්පස් එකක ඉගෙන ගන්නවලු. නිර්මලාගේ ඥතියකුගේ මඟුල් ගෙදරකට ආවා කීවා. නිර්මලා උඹ ගැනත් ඇහුවා..." වසර පහකට පෙර ගිණුම් අංශයේ සපරමාදු කියූ කතාව ගජධීරට සිහිවුණා. ඒ මෙහොතෙදීවත් නිර්මලාව බැලීමට ආශාවක් තමාට නොඉපදුණු බැව් ඔහු සිහිකළා.
"මහත්තයා කඩල තියෙනවා. ඊයේ බැදපුවා..." කඩල වෙළෙන්දෙක් ගජධීරගේ මුහුණට එබුණා.
"දැන් එපා..." ගජධීර බංකුවෙන් නැඟිට්‌ටා. උද්‍යානය තරුණ පෙම්වතුන්ගෙන් පිරී ඇතැයි ඔහුට සිතුණා. ගජධීර නැවතත් මහ මඟට පිවිසුණා.
"මහත්තය මේකේ බැටරි ගිය සතිය වෙනකම් මං ගාව තිබුණා. දැන් නම් ඉවරයි. මහත්තයා ඔහොමම මාර්කට් එකේ උඩ තට්‌ටුවට යන්න. එතන තියෙනවා ඔර්ලෝසු හදන තැනක්.."
තරුණ ඔර්ලෝසු කාර්මිකයා ගජධීරට තවත් බලාපොරොත්තුවක් ලබා දුන්නා. ඔහු හිමින් සැරේ මාර්කට්‌ටුව දෙසට ගමන් කළා. අත් ඔර්ලෝසුවද සාදාගෙන හෙට දිහාට මහව නිර්මලාගේ මහ ගෙවල් පැත්තේ යා යුතුයැයි ගජධීර කල්පනා කළා.
"මල්ලි පරණ සුවිස් ඔරලෝසුවල බැටරි තියෙනවද?" ගජධීර ඔරලෝසු කාර්මිකයාගෙන් විමසුවා.
"ඔව් මහත්තයා. රුපියල් දාහක් විතර වෙනව. ඒ බැටරි එනවා අඩුයි..." ඔර්ලෝසු කාර්මිකයා ගජධීර දෙස බැලුවා.
"කමක් නෑ..." ගජධීර කලිසමේ දකුණු සාක්‌කුවට අත යෑව්වා. එහි ඔරලෝසුව නොතිබුණු නිසා වම් සාක්‌කුවට අත යෑවුවා. එහිද ඔරලෝසුව නොමැති බැව් දැන ගත් ගජධීර මඳක් කලබල වුණා. ඔහු කමිසයේ උඩ සාක්‌කුව බැලුවා.
"ඇයි මහත්තය ඔරලෝසුව නැත්ද?" කාර්මික තරුණයා ගජධීර දෙස බලා සිටියා.
"ආ...මල්ලි මං ගෙනත් නැද්ද කොහෙද? හෙට දිහාට එන්නම්කො..." ගජධීර ආපසු හැරුණා.
අරවින්ද නින්දේ නොනින්දේ සිටිමින් කල්පනා කළේ, රුපියල් තිස් දහසක මුදලක් සතියක් ඇතුළත කෙසේ සොයා ගැනීමට හැකිවේදෝ කියායි. උසස් පෙළ සමත් වීමට පෙර, පාසල් සමයේ සිටම සති අන්ත පුවත්පත්, වාර ප්‍රකාශන, කවි පිටු කෙටිකතා තීරු අතරේ අරවින්ද සත්‍යජිත් වීරසේකර නම පළ වූයේ ඔහුගේ කවි හා කෙටි කතා සමඟ ය. උසස් පෙළ සමත් වී නිවසට වී සිටින්නට සිදුවීමෙන් පසු අරවින්දගේ කවි නිතර කවි පිටු අතරේද, අන්තර්ජාලයේ මුහුණු පොත හෙවත් බුකියේ ද දකින්නට ලැබුණේ සිය ගණන් මිතුරු මිතුරියන්ගේ කොමෙන්ටු සහිතවය. මුහුණු පොත මිතුරු මිතුරියන් බොහෝ දෙනකුට ඔහු අරා වුවත්, අම්මාටත් අක්‌කාටත් ඔහු සුදු පුතා ය. සුදු මල්ලීය. අරවින්දගේ අක්‌කා ඔහුට වඩා එක් අවුරුද්දකින් වැඩිමල් තලෙළු පාට යුවතියකි. අරවින්ද පියුමිට වඩා සුදු පැහැයෙන් යුතු වූ නිසා ඔහු 'සුදු පුතා' වන්නට ඇතැයි පියුමිට සිතුණු වාර බොහෝය. අම්මා සුදු පුතා නමින් අමතන බැවින් අක්‌කාට ඔහු 'සුදු මල්ලී' වූයේය. සුදු මල්ලීට අක්‌කාත්, අම්මාත් හැර අන් කිසිවෙකුත් නොවිණ. අරවින්දගේ තාත්තා මියගොස් දැනට වසර දෙකක් පමණ වේ යැයි ඔහුට සිතේ. කලක් දියවැඩියාවෙන් පෙළුණු සිරිමෙවන් ජයසේකර මියගියේ වකුගඩු නරක් වීමෙන් බවයි වෛද්‍යමතය වූයේ. පනස් වියට පා තබන සමයෙහිම, අරවින්දත්, පියුමිත්, පද්මිණිත් තනිකර දමා සිරිමෙවන් සඳහටම දෙනෙත් පියා ගත්තේ ඔවුන් තිදෙනා ප්‍රශ්න වැලකට පැටලීමේ ආරම්භයක් සටහන් කරමිනි.
සිරිමෙවන් මිය යනවිට රැකියාව කළේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පිරිමි උපස්‌ථායකයකු ලෙස ය. ජාතික රෝහල ඔහුගේ සේවා ස්‌ථානය වූයේය. පන්නිපිටිය, ඇරැව්වල පාරේ, කුලී ගෙදරක ජීවත් වූයේය. තමන්ගේම කියා ගෙයක් දොරක් හදා ගැනීමේ සිහිනයක සිරිමෙවන් ජීවත් වුවත්, එය සැබෑ කරගැනීමට පෙරාතුවම ඔහු ජීවිතයෙන් සමුගත්තේ පද්මිණීත්, පියුමිත්, අරවින්දත් සෝ සයුරේ මෙන්ම දුක් අඳුරක ද ගිල්වමිනි. සිරිමෙවන්ගේ මාසික වැටුපෙන් පමණක් ජීවිතය එදා වේල සරිකර ගැනීමට පුරුදුව සිටි ඔවුන් තිදෙනාට වෙනත් ලෝකයක් නොවිණ. දිනපතා හවසට බයිසිකලයෙන් ගෙදර පැමිණෙන සිරිමෙවන් ඉඳහිට දවස රෑ බෝවී ගෙදර එන්නේ අධික ලෙස බීමතින් යුතුවය. "දැන්වත් ඔය බීම ටිකක් අඩු කරන්න බැලුවොත් නරකද? උස්‌මහත් වෙච්ච ගෑනු ළමයෙකුත් ඉන්න එකේ.." පද්මිණීගේ පැමිණිල්ල සිරිමෙවන්ට අදෝනාවක් ද නොවූයේ නොවේ. ගෙදර දොර වියදම, වතුර බිල්, ලයිට් බිල්, පියුමිගේත්, අරවින්දගේත්, පාසල් ගමන් වියදම්, .... පියවා ගැනීමට සිරිමෙවන්ගේ මාසික වැටුප කිසිසේත්ම නොපෑහුණු බව පද්මිණී දැන සිටියාය. උසස් පෙළ යන්තමින් සමත් වුණු පියුමිට විශ්වවිද්‍යාලයකට යැමේ සිහිනයක් නොවිණ. සිරිමෙවන් ට හෝ පද්මිණීට ද දරුවන් පිළිබඳ එවැනි සිහිනයක් නොවුණි. රෝහලේ සේවයට ආ මුල් කාලයේ සිරිමෙවන් නවාතැන් ගෙන සිටියේ, බොරැල්ල, මොඩල්ෆාම් පාරේ, පේළි ගෙදරක කුඩා කාමරයක ය. ගෙවල් පේළියේ කොනක පද්මිණීලා පදිංචි වී සිටියහ. පාසල් වියේ සිටි ඇහැට කනට පෙනෙන නාඹර ගැටිස්‌සියක වූ පද්මිණී, සිරිමෙවන්ගේ ඇසට බොහෝ විට හසුවන්නේ, මුහුණ සෝදන්නට පයිප්පයට යන අවස්‌ථාවලදීය. තාරුණ්‍යයේ මල් සමයේ සිටි සිරිමෙවන්ගේ රාගික බැල්මෙන් ගැලවී සිටින්නට නොහැකි වූ අවස්‌ථාවක පද්මිණි ඔහුට කතා කළාය.
"මොකෝ කන්න වගේ බලන්නෙ හැම තිස්‌සෙම?" අඳුරු වැටුණු හැන්දෑවක පද්මිණි, උඩුකය නිරුවත්ව තුවායක් ගෙල ඔතාගෙන පැමිණ සිරිමෙවන් ගෙන් විමසුවාය.
"කන්න නෙවි, දැක්‌කම ගිලින්නයි හිතෙන්නේ.."
"ඒක යස වැඩක්‌නේ.. කොහේවත් ඉන්න මාව ගිලින්න හදන්නෙ... ඒ මොන පිස්‌සුවකටද?
"ඉන්නවකෙ බලාගෙන, දවසක මම තමුසෙව ගිලින්නෙ නැද්ද කියලා..."
"අනේ මේ මට මගේ පාඩුවෙ ඉන්න ඇරලා ගිලින්න කවුරු හරි හොයා ගන්න එකයි තියෙන්නේ. ඔය ඉස්‌පිරිතාලෙ ඉන්නව නේද ඕන තරම් ඇටෙන්ඩන්ට් නෝනලා... ලස්‌සන මූණකට එහෙම තියෙන..."
"ලස්‌සන මූණ කට විතරක් මොකටද පද්මි, ලස්‌සන ඇඟපතක් තියෙන්න එපායෑ..."
"හා! හා! ඔය කතාව දැන් ඇති. ආපහු මාව ගිලින්න වගේ බලන් හිටියොත් අපේ අයියට කියලා අන්නනවා දෙකක්".
"බයවෙයි මෙයාගෙ අයියට. කවුද එයා මේ වත්ත අයිතිකාරයද? අනේ යනව යන්න.... ඒක නෙවි මෙන්න මම ඔයාට ගෙනාව ඇපල් ගෙඩියක්..."
වාට්‌ටුවෙන් ටිකට් කපාගෙන ගෙදර යන රෝගියකු ඉඳහිට, ඔවුන් ළඟ ඉතිරි වූ ඇපල් ගෙඩියක්, මුද්දරප්පලමක්, උපස්‌ථායකයන්ට දීමට පුරුදුවී සිටී.
"ආ! ගන්න ළමයෝ. ඕකත් කාල අයියට කියලා මට අන්නවන්න බැරියෑ."
පද්මිණී, මඳක් කෝල නෙතින් බලා සිරිමෙවන් අතෙහි වූ ඇපල් ගෙඩිය උදුරා ගත්තාය. ඔහු ඒ අතරෙහි ඇගේ අත මිරිකුවේය.
"වල් මිනිහා" පද්මිණී ඔහු දෙස ඔහුගේ ඇස් කඩාගෙන යන බැල්මක් හෙළමින් කීවාය.
"පොඩ්ඩක් මෙහාට එන්න." සිරිමෙන් ඇයට කතා කළේය. ඈ ඔහු වෙතට ළංවෙත්ම ඔහු ඇගේ නිතඹ මිරිකුවේය.
"ජරා සතා...! හිටපන් මම අපේ අයියට කියන්න..."
වත්තේ සංගීත සංදර්ශනයට පද්මිණීට ද සින්දුවක් කියන්නැයි ආරාධනය කළේ අවුරුදු පතා, සංගීතය සංවිධාන කරන ලෙස්‌ලි අයියා ය.
"පද්මිණී නංගි මෙදා පාර වත්තේ සංගීතෙට සින්දුවක් කියමු නේද? ඉස්‌කෝලෙ කප් ගහලා වැඩක් තියෙනවැයි, වත්තේ එවුනුත් දැනගන්න එපායෑ නංගි කවුද කියලා."
පද්මිණී වත්තේ සංගීතය දවසේ සින්දු කියන බව සිරිමෙවන්ට කීවේ වැරදිලා හෝ ඔහු රෑ ඩියුටි දා ගනීවි යන බියෙනි. ඈ සින්දු කියනවා ඔහුට අසන්නට සැලැස්‌විය යුතු යැයි ඈ සිතුවාය.
"ඒයි ජරා සතා.... එනව නේද මගේ සින්දු අහන්න?" දිනක් රාත්‍රියේ පයිප්පය ළඟදි සිරිමෙවන්ගෙන් ඇසුවාය.
"එනවා... හැබැයි ඊට ඉස්‌සරවෙලා මාත් එක්‌ක පිචර් එකක් බලන්න එන්න ඕන. අනිද්ද මම නයිට්. උදේ බලමු ලිඩෝ එකේ හින්දි ෆිල්ම් එක. මොකද කියන්නේ?"
"මගේ අම්මෝ! අයියට එහෙම අහුවුණොත් මාව විනාසයි."
"ඒක හරි වැඩක්‌නේ. මොකද ඔයා පොඩි ළමයෙක්‌යෑ දැන්. ජම්බු ගහෙනුත් වැටිල කොච්චර කල්ද?"
පද්මිණීට ඒ කතාවට සිනහ ගියාය. සිරිමෙවන් සමඟ ලිඩෝ බැල්කනියේ කළුවරේ ගුලිවි බැලූ හින්දි චිත්‍රපටයේ කතාව දෙන්නටම මතක නැත. ඉඳහිට ඇසුණු ගීතයකින් ඔවුන් දෙදෙනාගේ ආදර ලෝකයට බාධා වුවද, හෝරා දෙකක් පද්මිණී, සිරිමෙවන්ගේ උණුසුමෙහි ද, සිරිමෙවන් ඇගේ උණුසුමෙහි ද ගිලී සිටියහ. ශාලාවෙන් එළියට ආවේ, හෝරා දෙකකට පෙර ඇතුළු වූ පද්මිණී නොව, නිය පහරවල්, ඉදිමුණු තොල්, ගෙල වටේ සැපුම් ලකුණු සහිත බාගෙට මැලවුණු පද්මිණී කෙනෙකි.
"ආයෙත් නම් එන්නෙ නෑ පික්‌චර් බලන්න. බලනව මගෙ හැටි. තමුසෙ කරපු දේවල්. පෝරිසාදයෙක් වගේ,"
"හරි හරි.... අනික් සැරේ අපි දෙන්න රූම් එකකට යමුකෝ. එතකොට ඔය හෝල් එකේ වගේ එක එකාට පේන්නෙ නෑනෙ..."
චිත්‍රපට ශාලාවෙන් ගෙස්‌ට් හවුස් දක්‌වාද දික්‌වුණු සිරිමෙවන්ගේ ආදරය පද්මිණීගේ මවගේ මෙන්ම සහෝදරයාගේද කනට වැටෙන්නට කල් ගත නොවිණ. සංගීතය දා රැයේ පද්මිණීගේ ගීත රස විඳිමින් සිටි මොහොතේ ඇගේ සොහොයුරා සිරිමෙවන්ට පළමු තර්ජනය කළේය.
"මේ අයිසෙ! මම තමුසෙට හොඳින් කියන්නේ. මේ රත්නෙ නරක මිනිහ කියන්නෙපා හරිද? අපේ නංගිත් එක්‌ක තියෙන ගනුදෙනුව ඉක්‌මනට ඉවර කරන්න ඕන හරිද ලොක්‌කා."
සිරිමෙවන්ගේ කමිස කොලරයෙන් අල්ලා රත්නේ තර්ජනය කළේ සිරිමෙවන්ගේ හිතෙහි භීතිය අවුළුවමිනි.
"ඔන්න පද්මි මට නම් බෑ ඔයාගෙ අයියට බයේ ඔයා හම්බ නොවී ඉන්න. මම අපේ අම්මටත් කියලා තියෙන්නෙ ඔයා ගැන. අපි දෙන්න හෙට අනිද්දම බැඳලා ගමේ ගිහින් ඉම්මු ටික දවසක්. මට සුමානයක් විතර ලීව් ගත්තෑකි.."
යන්තම් දහ අට සම්පූර්ණ වෙමින් සිටි පද්මිණි, සිරිමෙවන් සමඟ විවාහ වූයේ විශේෂ බලපත්‍රයකිනි. විවාහවී පසුදිනම ඈ සිරිමෙන් සමඟ ඔහුගේ ගමට ගියාය. රත්නේ දණ්‌ඩෙන් පහර කෑ සර්පයකු සේ කෝප වි සිරිමෙවන් සොයාගමට ගියද ඔහුගේ තර්ජන හමුවේ සිරිමෙවන් බිය නොවූයේ දැන් ඈ ඔහුගේ නීත්‍යානුකූළ බිරිඳ බව පවසමිනි. රත්නේ කොළඹ පැමිණ මවට කියා තිබුණේ "පද්මිණී ඒමිනිහ එක්‌ක සන්තෝසෙන් ඉන්නව අම්මේ කියායි."
සිරිමෙවන් මිතුරෙකුගේ උදව්වෙන් පන්නිපිටියේ, ඇරැව්වල පාරේ කුලී ගෙදර සොයා ගත්තේ පියුමි ලැබෙන්නට ඔන්න මෙන්න කියා තිබියදීය. වරින්වර සිරිමෙවන්ගේ ගමේ ගෙදර ද, ඉඳහිට කොළඹ පේලි ගෙදර ද සිටි ඔවුන් දෙදෙනා දරුවා ලැබෙන කොට වෙනම ගෙදරක ජීවත් විය යුතු යැයි තීරණය කර තිබුණි. පියුමි ලැබී අවුරුද්දකින් පුතු අරවින්ද ද ඔවුන්ගේ පවුලට එකතු වූයේය. රාජකාරි වේලාවෙන් පිටත, පුද්ගලිකව රෝගීන් බලා ගැනීමෙන් ලැබුණු අමතර ආදායමින් ඔවුන්ගේ ඕනෑකම් ඉටු වුවද, දරුවන් ලොකු මහත් වී ඉගෙන ගැනීම් සඳහා මිල මුදල් අවශ්‍ය වූ කල, රැකියාවෙන් ලැබුණු මුදල කිසිසේත්ම සෑහුණේ නැත. සිරිමෙවන් හඳුනාගත් ව්‍යාපාරික රෝගී මහතෙකුගේ මාර්ගයෙන් පද්මිණීට ද පුද්ගලික රෝහලක උපස්‌ථායිකාවක් ලෙස රැකියාවක් ලැබීම විශාල සහනයක් වූ බව ඔවුන් දෙදෙනා සිහිපත් කළහ. එහෙත්, දෛවය ඔවුන්ගේ සතුටට බාධා කළේ දරුවන් දෙදෙනාගේ ඉගෙනීම් කටයුතුවලට ද බලපෑම් ඇති කරමිනි. දියණියට මෙන්ම පුතුට ද පාසලේ වියදම්වලට අමතරව උපකාරක පන්ති සඳහා සිරිමෙවන් හා පද්මිණීගේ වැටුපෙන් විශාල කොටසක් වෙන්වදේදී ගේ දොර වියදම් සඳහා අවශ්‍ය මූලික මුදල් සොයා ගැනීමද එන්න එන්නම දුෂ්කර විය. දියවැඩියාව සිරිමෙවන් සොයාගෙන විත් කරදර කරන්නට පටන් ගත්තේ වකුගඩු දක්‌වා ද අහිතකර බලපෑම් කරමිනි. ආරෝග්‍ය ශාලාවේ සේවය කළ ද, රෝග තත්ත්වයෙන් ගැලවීමට සිරිමෙවන් අපොහොසත් වූයේ, බිරිඳ හා දරුවන් දෙදෙනා ද තනිකොට ජීවිතයට ආයුබෝවන් කීමට සිදුවීමෙනි. පද්මිණී බලා කියා ගත් ධනවත් රෝගී මහත්මයකුගේ උදව්වෙන්, ඇඟලුම් කම්හලක සුළු රැකියාවක් ලබා ගන්නට පියුමි සමත් වූවාය. අරවින්ද ද උසස් පෙළ සමත් වී රැකියා දඩයමෙහි සිටිමින් කවි, කෙටිකතා පුවත්පත්වලට, මුහුණු පොතට ලියන්ට පටන් ගත්තේය. කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමාව හැදෑරුවහොත් ඔහුගේ නිර්මාණ හැකියාවත් සමග අරවින්දට පුවත්පත් ආයතනයක පුහුණුවන්නෙක් ලෙස හෝ රැකියාවක් සොයා ගැනීමට හැකිවේ යැයි ඔහු කල්පනා කළේය. එහෙත්, එක්‌වර ගෙවිය යුතු රුපියල් තිස් දහසක් කෙසේ සොයාගත හැකිද? ඔහුට උදව් කළ හැකි කෙනෙක් වේද? අරවින්ද අතරමං වී ඒ මේ අත පැද්දෙන ඔරුවක් බවට පත් විය. අක්‌කාගෙන් හෝ අම්මාගෙන් ඉල්ලාගත හැකි මුදලක් ද රුපියල් තිස් දහසක්?
අරවින්දගේ නින්ද කැඩුණේ වාහනයක් නවත්වා යළි පණ ගන්වා යන හඬිනි. ගෙරදට ආවේ අම්මා වන්නට ඇතැයි ඔහු නිගමනය කළේය. උදේ කාලයේ පෞද්ගලික රෝහලක සේවය කරන ඈ, රාත්‍රි කාලයේදී ද පෞද්ගලිකව රෝගීනට සාත්තු කරන්නේ දැයි අරවින්ද ඇගෙන් විමසුයේ නැත. කාලයක සිට ඈ රෑ බෝ වී ගෙදර එන බව පමණි ඔහු දැන සිටියේ. අක්‌කා වුව ඒ පිළිබඳ දැන සිටියා යැයි අරවින්දට නොසිතිණි. පසුදා උදෑසන ඇඟලුම් කම්හලට යැමට පෙර අරවින්ද, පියුමි ඇමතුවේය.
"ඒයි කොහොමෙයි තිස් දාහක් හොයාගන්නේ...... බැරිද ලෝන් එක්‌කවත් ගන්න...?
"මොනවද මල්ලි මේ කියන්නේ? කොහේ තියෙන තිස් දාස් ගණන් හොයන්නද මම? අම්මට කිව්වේ නෑ?"
"අම්ම ළඟ කොයින්ද සල්ලි?"
"ඒ වුණත් අහල බලන්නකො"
"ඒක තමයි මෙදා පාර මිස් වුණොත් ආපසු අවුරුද්දක්‌ම බලාගෙන ඉන්න වෙනවා..."අරවින්ද කීවේය.
"අම්ම ළඟ නෑ නේද තිස්‌දාහක්?" අරවින්දගේ ප්‍රශ්නයෙන් පද්මිණී තිගැස්‌සුණාය. "තිස් දාහක්?" එක පාරටම ගෙවන එකනේ ප්‍රශ්නෙ..ටික දොහක් බලමුකො.. තව සතියක් විතර තියෙනවානේ...........
දිවා කාලයේ සාත්තු නිවාසයේද, බොහෝ රාත්‍රි කාලයේ පෞද්ගලික රෝහලක රෝගියකුගේ සාත්තු සත්කාරයෙන්ද අමතර ආදායමක් සොයාගත් පද්මිණීට මුදල් වැඩිපුර ලැබෙන අලුත් රැකියාවක් ලැබුණේ දැන් මාසයකට පමණ පෙරය. රෝගියකුට සාත්තු කිරීමකට වඩා වෙහෙස වීමට නොමැති එහෙත්, රාත්‍රි කාලයම මිඩංගු කළ යුතු අලුත් රැකියාවට මගපෑදුණේ, ඇයට සාත්තුකරන්නට සිදුවූ සමාගම් සමූහයක් සතු ධනවත් ව්‍යාපාරික මහතෙකු ඔස්‌සේ ය. දරුවන් දෙදෙනකුගේ මවක වුවත්, පද්මිණීගේ පෙරදා රූප සොබාව මැකී ගිය ලකුණකුදු පෙනෙන්නට නොතිබිණ. ඇගේ කතාබහ, සිනහව, කටහඬ, ගමන් ලතාව,ඈ හතළිස් වියට ආසන්න ගැහැනියකගේ ලකුණු සටහන් නොකළාය . පිරිමියෙකුගේ ඇස සොරා ගන්නා, සිත ආකර්ෂණය කරන සිරුරක් ඈ සතු වූවාය. ඇගේ අලුත් රැකියාවට අයත් වූයේ රාත්‍රී කැරෝකේ සමාජ ශාලාවකට එන ගනුදෙනුකරුවන් සඳහා කැපවුණු යුවතියන්ගේ භාරකාරිය ලෙස කටයුතු කිරීමය. ගී ගයන්නට සමත් පද්මිණීට ගීත ලොවක් මැද ජීවත් වන්නට ලැබීම ආස්‌වාදජනක වුවත්, රෑ මැදියම තෙක් නිදි වැරීම වෙහෙසකර වූයේ දිවා කාලයේද සේවය කොට පැමිණෙන බැවිනි.
විශ්වවිද්‍යාලයට මුදල් ගෙවන්නට නියමිතව තිබූ අවසාන දිනට පෙර, පද්මිණී. අරවින්දට රුපියල් තිස්‌දහසක් දුන්නාය.
"මම මේ දවස්‌වල බලාගන්න මහත්තයට කිව්වම, එයා සල්ලි දුන්නා. ඉගෙන ගන්න ළමයකුට උදව්වක් කරන්න ලැබෙන එක පිනක් කියලත් කිව්වා."
"එතකොට අම්ම කොහොමද මේක ගෙවන්නේ?"
"එයාට වැඩ කරන දවස්‌වලට ගෙවන්න තියෙන මුදලින් අඩු කර ගන්න පුළුවන් කියලා කිව්වා..."
"ඒත් අම්මේ තිස් දාහක් කැපෙන්න කොච්චර දවසක් වැඩ කරන්න වෙයිද?"
"මොනව කරන්නද? එයා ළඟ වැඩ ඉවර වුණොත් වෙන කෙනකුගෙන් හම්බ වෙන ගාණකින් හරි ගෙවන්න බැරුවයෑ. දැන් ඕක ගෙවල පන්ති යන්නකෝ."
අරවින්දගේ ඉහේ මලක් පිපුණි. ඩිප්ලෝමාවේ දේශකයන් අතර ජනමාධ්‍යවේදීන්, විශ්වවිද්‍යාල ඇදුරන්, ජ්‍යෙෂ්ඨ කර්තෘවරුන් හා ඔහු නිතර කාව්‍ය නිර්මාණ, කෙටිකතා ඉදිරිපත් කරනු ලබන පුවත්පතෙහි විශේෂාංග සංස්‌කාරවරයාගේ නම ද ආචාර්ය මණ්‌ඩලය අතර දකින්නට ලැබීම අරවින්ද ලද වාසනාවකැයි ඔහුට සිතින. පාඨමාලාව ආරම්භක උත්සවයට ආචාර්ය මණ්‌ඩලයේ බොහෝ දෙනකු පැමිණ සිටි අතර තේ පානය අතරතුර, ඔවුන් සමග කතාබහ කොට දැන ඇඳින ගැනීමටත්, පාඨමාලාවට තෝරාගත් සිසු සිසුවියන්ට අවස්‌ථාව සැලසුණෙන් අරවින්ද ඔහුගේ කෙටිකතා කවි පළවන සති අන්ත පුවත්පතෙහි කර්තෘවරයා සොයාගොස් හඳුනා ගන්නට මගක් පාදා ගත්තේය.
"සර් මම අරවින්ද සත්‍යජිත්. කවි පිටුවට කවි එවන්නෙ. ආර්ටිකල් එවන්නෙ.."
"හා! හා! මේ අරවින්ද සත්‍යජිත් ද?, මම හිතුවෙ ටිකක් වයසක හාදයෙක් කියලා... මොනවද කරන්නෙ ලියන එක විතරද?"
"ඔව් සර්! දැනට රස්‌සාවක් නෑ. තාත්තා නැතිවෙලා වැඩි දවසක් නෑ. අක්‌කයි මායි අම්මයි විතරයි ඉන්නේ... .."
"කොහේද ඉන්නව කිව්වේ..?"
"මම පන්නිපිටියෙ ඉන්නෙ සර්..."
"අරවින්ද කැමැති නම් ලියපු කියපුවයි, අධ්‍යාපන සහතිකයි අරගෙන අපේ ඔෆිස් එකට එන්නකො අනිද්දට. අපි ට්‍රේනි කෙනෙක් හොය හොයා ඉන්නේ. රෑ වෙනකල් වැඩ කරන්න - පිට පළාත්වලට එහෙම යන්න ඕන වුණොත් යන්න පුළුවන් නේද?"
"අපොයි සර්... ඒක නම් ප්‍රශ්නයක් නෙවි. මම හරියට කැමැතියි ඇවිදින්න..."
අරවින්දට "ජනලෝකය" සතිඅන්ත පුවත්පතෙහි පුහුණු ලේඛකයකු වන්නට ලැබුණේ අම්මා කෙසේ හෝ සොයා දුන් මුදල නිසා නොවේදැයි කල්පනා කළේය. 'ජන ලෝකය' කර්තෘ විමලසිරි ජයසිංහ මහතා මැදිවියත් ඉක්‌ම වූ උස මහත පුද්ගලයෙකි. නිතර දුම් බීමට පුරුදු වූ අයෙක් බව ඔහු දුටුවේය. මත්පැන් පානය කරන්නෙක් බවද පැවසුයේ කර්තෘ මණ්‌ඩලයේ සගයන් ය. අරවින්දට තමන්ගේ නමින් මෙන්ම, නොනමින් ද ලිපි, විශේෂාංග ලියන්නට පුරුදු කර වන්නැයි භාරදෙන ලද්දේ විශේෂාංග කර්තෘ ජයදේව රණසිංහ මහතාටය. ඔහු තරුණ පෙනුමකින් යුත්, නිතර විහිළු තහළුවට කැමැති, සුන්දර චරිතයකි. අරවින්ද ඉතා ඉක්‌මනින් ඔහු හා කුලුපග වූයේ, ඉඳහිට කාර්යාල වේලාවෙන් පසු කොටුවේ භෝජනාගාරයකට ගොස් බීර බෝතලයක් ද බීමට පුරුදු වූවේය. ජයදේව අරක්‌කු මිස බීර බීමට කැමැත්තක් දැක්‌වූයේ නැත.
"අරවින්ද තමුසෙ ගිහිල්ල තියෙනවද කැරෝකෙ බාර්, කැරොකෙ ක්‌ලබ්වලට? ඔය රෑට සින්දු කියන්නෙ කෙල්ලොත් එක්‌ක ..."
"අනේ නෑ ජයදේව මහත්තයා. මම අහල තියෙනවා නයිට් ක්‌ලබ් ගැන.."
"නෑ...නෑ.. මේව නයිට් ක්‌ලබ් නෙවී. මේවයේ කාමර තියෙනවා . ලොකු ටීවී ස්‌ක්‍රීන් තියෙනවා. ඒකෙ සින්දු දානවා. විෂුවල් එක්‌ක. මිනිස්‌සු දෙතුන් දෙනා එකතුවෙලා ඒ සින්දු කියනවා. ක්‌ලබ් එකේ ගෑනු ළමයෙක් ළඟින් තියාගෙන එයත් එක්‌ක සින්දු කියන ගමන් දන්නැද්ද? හැබැයි පැකේඡ් එකකට හතර දෙනෙක්‌වත් ඉන්න ඕන..."
අරවින්ද ජයදේව මහත්තයාගේ කැරොකෙ වර්ණනාවෙන් ඔළුව කොලොප්පන් කර ගත්තේ ය. කැරොකෙ ක්‌ලබ් එකකට යන්නට ඇත්නම් යැයි ඔහුට කල්පනා විය.
"හැබැයි ඉතින් ලොකු ගණනක් ගෙවන්න ඕන. සින්දු කියන ගමන් ඕඩර් කරන ඩ්‍රින්ක්‌ස්‌වලටත් ගෙවන්න ඕන... ලස්‌සන කෙල්ලො සෙට් එකක් තියෙන තැනක් තියෙනවා පාක් රෝඩ් එකේ. ඉන්නවකො දවසක මම තමුසෙව එක්‌ක යන්න..."
ජයදේව මහත්තයා අරවින්ද සමඟ ඔහුට පුරුදු නිතර යන එන කැරොකෙ ක්‌ලබ් එකකට ගියේ තමන් සමග මිතුරෙකු ද ඉන්න, බව පිළිගැනීමේ කවුන්ටරයේ මිතුරියට පවසමිනි. අඩ අඳුර, ගී හඬ, සිගරැට් දුම, වීදුරු ගැටෙන හඬ, පුළුල් ටීවී තිර සහිත කාමර, අරවින්ද කිසි දිනෙක නොදුටු දසුන් විය.
"අද අපි දෙන්න විතරයි. මම වෙනම පැකේඡ් එකක් හදා ගත්තා තමුසෙගෙ පාට්‌නර් එක්‌ක සින්දු කියනවා. එයා සපෝට් කරයි තමුසෙට. මම මගේ එක්‌කෙනත් එක්‌ක ඉන්නෙ. මම ඉන්නව කියල ගණන් ගන්න එපා. බීර බෝතලයක් මම ඕඩර් කළා. ඒ ළමය මොනවද බොන්නෙ කියල අහල ඕඩර් කරනව මම බිල සෙට්‌ල් කරන්නම්.."
අරවින්දට කිසිවක් අදහාගන්නට නොහැකිය. කුමක් කරන්න ද? කුමක් නොකරන්නද? සින්දු කියන්නෙ කොහොමද? කිසිවක් පිළිබඳ පුරුද්දක් නැති ඔහු අන්දමන්දව සිටියදී ළැමෙන් අඩකටත් වඩා නිරුවත්, ඉණෙන් අඟල් කිහිපයක් පහළට තරම් කෙටි සායක් හැඳගත් යුවතියක් පැමිණ ඔහු අසලින්ම වාඩි වූවාය. එහා කෙළවර ජයදේව මහත්තයා ය.
"මට කෝක් එකක් ඕන.." ඔහුගේ ගෙල වටා අත යවමින් යුවතිය කියන්නීය.
"මොනවද අහන්න කැමැති සින්දු. රූකාන්ත, චන්ද්‍රලේඛා ජෝතිපාල, වික්‌ටර්.." ඈ තව තවත් අරවින්දට තුරුළු වී සිටී. ඇගේ වත්සුණු සුවඳට මුසුවූ විලවුන් සුවඳක් අරවින්දගේ සිත මත් කරයි.
"අද ෆස්‌ට් ටයිම් ද කැරොකෙ ආවෙ... ආපෝ ඔහොම බෑ... සින්දු තෝරල කියමු. මට තව කස්‌ටමර් කෙනෙක් ඉන්නව පැයකින්. අර බලන්නකෝ ඔයාගෙ යාළුවගෙ වැඩ.." ඈ අරවින්දට ජයදේව පෙන්වයි. ඈ ගීතයක් තෝරාගෙන වාදනය කරන්නීය. ටී. වී. තිරයේ පෙම්වතා හා පෙම්වතියගේ රූප රාමුවකි.
"ගන්න මේ මයික් එක. දැන් මාත් එක්‌ක ප්ලේ වෙන සින්දුව කියන්න... අර ඔයාගෙ යාළුවා. එයා නම් සින්දු කියන්නෙ නෑ. පේනවනේ එයාගේ වැඩ.."
"ආදරේ සිහිනයකැයි කිව්වේ එදා කවුද සුදෝ
ආදරේ ජීවිතයක් එළිය කළා නේද සුදෝ.."
යුවතිය, අරවින්දගේ කමිසයේ බොත්තමක් විවර කරමින් ඔහුගේ පපුව අතගාන අතරේ ගයන්නීය.
"කියන්න සින්දුව..."
අරවින්ද කැමැතිම ගීතයක් බැවින් ගායනය සමඟ එක්‌වී තාලයට ගයන්නට පටන් ගත්තේය. ඔහු සෙමින් යුවතියගේ මුහුණ සිප ගත්තේය. ගෙලට හාදුවක් දුන්නේය. බීර මතින් ඇගේ දෙතොලට දෙතොල ළං කලත් ඈ ඊට ඉඩ නොදුන්නාය.
"අපෝ ඒවා බෑ.. මැඩම් දැක්‌කොත්... ඕනනම් වෙන වෙලාවක මීට් වෙමු. මම දෙන්නම් මගේ කන්ටෑක්‌ට් එක..." ඈ තවත් ආදර ගීයක් තිරයේ දිස්‌වන්නට හැරියාය.. "සුවඳ දැනී ... දැනී දැනෙනවා... උදා හිරු එළියේ..."
"මම ආසම සින්දුවක්.." කෝල ගතිය මඳක් පහ වූ අරවින්ද ඈ තුරුළට ගනිමින් කියයි.
"මොකක්‌ද ඔයාගෙ නම?"
"මම විචිත්‍රා.... විචී කියලා කස්‌ටමර්ස්‌ලා කියන්නේ.. ඔයා?"
"මම අරවින්ද."
"ඒක තමයි.. විරාගෙ අරවින්ද වගේ.. බයයි වගේ.."
"හොඳයි ජයදේව මහත්තයා.. මම දන්නෙ නෑනෙ මොනවද කරන්නෙ කියලා.. මම මූණ ඉම්බා විතරයි.."
"ඒ මදැ.. ඊට එහා දේවල් බෑ එතැන.. අපි ආයෙ දවසක එමුකො පාක් රෝඩ් හරි... තව තැනක් තියෙනවා බම්බලපිටියෙ..පඩි ගත්තට පස්‌සෙ එමු. හතර දෙනෙක් හිටියොත් තමයි පැකේඡ් එකේ වටිනාකම".
අරවින්දට කැරොකෙ සංගීතය ප්‍රියමනාප විය. තරුණ කෙල්ලක් තුරුලු කරගෙන බීර බොමින් ඉඳහිට ඇගේ මුහුණ ළමැද සිප ගනිමින් තිරයේ දිස්‌වන ගීතය ගායනාවට ලැබුණු මොහොතේ, අරවින්දට ගමේ පෙම්වතියක් සිටියාද කියාවත් මතකයට නැඟුණේ නැත. විචිත්‍රා ඔහුගේ පපුව සිපගත් ආකාරයටම තව කොපමණ පිරිමින්ගේ පපුව සිපගන්නවාද කියා කල්පනා වූයේ නැත.
"ජන ලෝකයේ" පුහුණු රැකියාව පිළිබඳ අම්මාටත්, අක්‌කාටත් පැවසූ පසු අක්‌කා ඔලොක්‌කුවට මෙන් සිනාසුණාය.
"බලන්නකො අම්මේ මෙයා ඩිප්ලෝමා ගහන්නත් ඉස්‌සරවෙලා මධ්‍යකාරයෙක් වෙලානේ. දැන් සල්ලිත් හම්බ වෙනවා කියන්නෙ.."
"ඔව් මටත් ගානක් දුන්නා... ඒකත් වෙලාවට වගේ ලැබිච්ච එකක්. නැත්නම් ඒ වියදමටත් මටමනේ සල්ලි දෙන්න වෙන්නේ.."
කැරොකෙ සමාජ ශාලාවල ගීත ගායනාවට වඩා වෙනත් දේ සිදුවන බවත්, ඇතැම් කැරොකෙ සමාජශාලාවකින් ගණිකාවන් අත්අඩංගුවට ගන්නා බවත්, මාධ්‍ය වාර්තා ඔස්‌සේ අරවින්ද කියවා තිබිණ. අරවින්දගේ කුළුඳුල් කැරොකෙ අත්දැකීම තුළ එවැනි චරිත හමු නොවුණත් විචිත්‍රා වැනි යුවතියක් දිවා කාලයේදී තෝරා ගන්නා පිරිමියකු සමග රාත්‍රියේ යහන් ගතවන්නේ ගණිකාවකගේ භූමිකාවට පිවිසෙමින් නොවේද කියා අරවින්ද කල්පනා කළේය.
"අරවින්ද ළමයා, බොස් අපි දෙන්නට පොඩි ජොබ් එකක් දුන්නා. ඉන්වෙස්‌ටිගේටිව් වැඩක් කරන්න. "ඒ මොකක්‌ද ජයදේව මහත්තයා", "මේ දවස්‌වල කැරොකෙ ක්‌ලබ්ස්‌වල සින්දු කියන ගෑණු ළමයි, ගෑනුන්ට වැඩිය ප්‍රොස්‌ටිටියුට්‌ස්‌ල වැඩිවෙලාලු. සමහර ක්‌ලබ්ස්‌වලම රූම්ස් දෙනවලු කැමැති ගෑනු කෙනෙක් එක්‌ක ඉන්න. ඒ ගැන ටිකක් හොයල බලල තොරතුරු දැනගෙන ෆීචර් සීරිස් එකක් කරන්නලු. තමුසෙ එනව මාත් එක්‌ක යන්න. අපි පාක්‌රෝඩ් එකෙන්ම පටන් ගමු. කම්පැනිය ගෙවනවනේ. හතරදෙනාගෙ පැකේඡ් එක වුණාම මොකද අපි දෙන්න විතරක් ගිහිල්ල ටිකක් තොරතුරු හොයාගෙන එමු. මොකද කියන්නේ? කැමැතිනෙ? මම ෆෝන් කරලා රිසවේෂන් එකක් කළා. තමුසෙට ඕන නම් එදා හම්බවෙච්ච පරණ ළමයම ඉල්ලගන්න පුළුවන්. මම නම් එතෙන්ට ගිහිල්ල බලලා කාවහරි තෝරා ගන්නවා. ඒගොල්ලො දන්නෑ අපි මොකටද ලොකුගාණක පැකේඡ් එකක් අරගෙන දෙන්නෙක් විතරක් එන්නෙ කියලා... චීෆ් කියන්නේ, එයාට ආපු ඉන්ෆොමේෂන්වල විදියට පාක් රෝඩ් කැරොකෙ බාර් එක ගොඩක් ප්‍රසිද්ධලු ප්‍රොස්‌ටිටියුට්‌ස්‌ලව සප්ලයි කරන බාර් එකක් විදියට.. බලමුකො අපි ගිහිල්ලා."
"යමු ජයදේව මහත්තයා... පරණ ගෑණු ළමයම සෙට් වෙයිද දන්නෑ.. කවුද මේ විචිත්‍රා.. විචී.."
"මම අහල බලන්නම්, මට නම් අරවින්ද දැන් පොඩි කෙල්ලො ඇතිවෙලා. උන් අපිත් එක්‌ක සින්දු කියනවා. කිස් එකක් දීලා රවටනවා. කොකා කෝලා බීල ෂේප් වෙනවා."
"ඉතින් ජයදේව මහත්තයා, මෙතැන ඉන්නේ ඒ වගේ කෙල්ලොම නේද?"
"තමුසෙට තේරෙන්නෙ නෑ මේව ඇතුළෙ වෙන දේවල්. ටික දවසක් යනකොට අහුවෙයි. තවත් තැනකට ගියාම හිතෙයි මෙතැන මොනවද තියෙන්නේ කියල..
"හරි හරි මම ටිකට් එක අරගෙන එන්නම්. ... රූම් ෆෝ එකට යමුකො..."
අරවින්ද කාමරයට ඇතුළු වනවාත් සමගම විචිත්‍රා පැමිණ සෝපාවෙහි වාඩිවී සිටියාය. කකුලක් මත කකුලක් තබාගෙන, සිගරැට්‌ටුවක් බොමින් සිටි ඇගේ සුදු පාට කලවා දැකීමෙන් අරවින්ද වික්‍ෂිප්ත විය. ජයදේව මහත්තයා තවමත් කාමරයට නොආවේ මන්දැයි ඔහු විමසිලිමත් විය.
"අපි ආපහු හම්බ වුණා එහෙනම්.." විචිත්‍රා අරවින්දගේ ගෙල වටා අතක් දමමින් ඔහු ළඟට ගෙන, ගීතයක් වාදනය වීමට සැලැස්‌වූවාය.
"රෝස තොල් සිඹිමි තොල්මත කඳුළු බිඳු රැඳෙයි.
ඔබ ආදරෙයි කියා දුන්නෙත් ඒ වගේ තමයි..."
සයනයක තුරුලුව පෙමින් බැඳුණු පෙම්වතෙකුගේ හා පෙම්වතියකගේ රූපාවලියක් තිරය මත ඇඳේ. අරවින්ද ගීතය මුමුණයි. විචිත්‍රා ඔහුගේ අතක් ගෙන ඇගේ කලවා මතතබා ගත්තාය.
"කෝ රෝස තොල් සිඹිමි බෑනේ.. ඔහු සෙමින් ඇගේ කලවා අතගාමින් ඉහළට අත රැගෙන යයි".
"ඕන්න......... එහේ අවුට් ඔෆ් බවුන්ඩ් ඕ කේ...."
ඈ ඔහුගේ අත සෙමින් ඉවතට ගෙන යළිත් ගායනයට එක් වූවාය. කුඩා මේසය මත ඇති බීර වීදුරුව අරවින්දගේ මුවට ළං කොට බීර උගුරක් පෙව්වාය.
"ඔයා හරි කපටියි නේද?"
"ඇයි?"
"නෑ මාව අවුස්‌සනවා විතරයි.."
"මෙතැන එහෙම තමයි... ඊට වඩා කිසිම දෙයක් බෑ. මාව ඕන නම් දවාලක මීට් වෙමු. මම කන්ටෑක්‌ට් දෙන්නම්... ඒක නෙවි කෝ අද ඔයාගෙ සීනියර්... අර ටිකක් වයසක එක්‌කෙනා..."
"ආ! මගේ බොස්. ජයදේව මහත්තයා. එයා එයි. කලින් රිසර්වේසන් එක කරපු නිසා මට එන්න කිව්වේ එයා එන්නම් කියලා.."
අරවින්ද විචිත්‍රාගේ බඳ වටා අත යවමින් ඈ තුරුලු කරගෙන ගෙල සිප ගනිමින් නිරාවරණය වූ ළමැදට මුහුණ රැගෙන යයි.
"ඔන්න ආයෙමත් පටන් ගත්තා. මෙතැන බෑ ළමයො ඕව කරන්න..."
අරවින්ද ඇගේ ළමැදෙන් මුහුණ ඉවතට ගන්නා මොහොතෙහි ජයදේව මහත්තයා, ගැහැනියකගේ බඳ වටා අත දමාගෙන කෙළවරේ වූ අනෙක් සෝපාව වෙතට යනු අරවින්ද දුටුවේය. කළු පාට කෙටිසායක් හා රතුපාට බ්ලවුසයකින් සැරසුණු ගැහැනිය විචිත්‍රා වැනි යුවතියක නොවූ බව අරවින්ද වටහා ගත්තේය. ජයදේව මහත්තයාගේ පපුවෙහි මුහුණ සඟවාගෙන සිටින ගැහැනිය කවුරුන්දැයි හදුනා ගැනීමට අරවින්දට දෙවරක් සිතන්නට ඕනෑ නොවීය.
කළු පාට සායත් රතු පාට බ්ලවුසයත් පෙර දවසක ගෙදර රෙදි වැලේ වනා තිබෙනු අරවින්දට සිහි විය.
"දෙයියනේ එහෙනම්... " ඔහුට කියෑවිණ.
විචිත්‍රා අරවින්දට කතා කළේය. ඔහු ඇගේ අත ගසා දමා නැඟිට්‌ටේය.
"මේ මොකද බය වෙලා වගේ අරවින්ද.. ඔයාට දුක හිතුණද, තරහ ගියාද මම කිස් කරන්න එපා කිව්වෙ මෙතැන එහෙම දේවල් කරන්න බැරි නිසා. අනේ සොරි, අපි තව සින්දුවක් අහමු."
අරවින්ද සෝපාවෙන් නැඟිට්‌ටේය.
"ඔව්! මට දුක හිතුණා.. තරහ ගියා..."
"මාත් එක්‌ක..? " විචිත්‍රා ඇසුවාය.
"නෑ.. ඔයත් එක්‌ක නෙවි. මට මං ගැනම දුක හිතුණා. මාත් එක්‌කම තරහ ගියා.."
ඔහු කෝප වූයේ කිම් දැයි විචිත්‍රාට නොවැටහිණ.
අරවින්ද කාමරයෙන් එළියට යනු විචිත්‍රා බලා සිටියාය. ඉන්පසු කිසිදිනෙක ඔහු කැරොකෙ ශාලාවට පැමිණියේ නැත. ඔහුට කුමක් වී දැයි ඈ තවමත් නොදන්නීය.
බොක්‌කාවල - සුසිල් කුලතුංග
සත්‍යානන්ද ඇමැතිතුමාගේ ඉල්ලා අස්‌වීම රටේ දේශපාලන වටපිටාව උඩු යටිකුරු කිරීමට සමත් වූ අතර රට දෙසට අවධානය යොමුකර සිටි ලෝක ප්‍රජාවද වික්‍ෂිප්ත කරවන්නක් විය. රජය සමඟ සන්ධානගතව සිටි එසේම ප්‍රබල ඇමැති ධුරයක් ඉසිලු "සත්‍යවාදි පක්‌ෂයේ" ප්‍රධානියා මෙසේ හදිසියේ ඉල්ලා අස්‌වීම පිළිබඳව පැහැදිලි හේතුවක් ඉදිරිපත් කිරීමට රටේ ප්‍රසිද්ධ දේශපාලන විචාරකයන්ට පවා අපහසු කාර්යයක් විය.
විශේෂයෙන් ඔහුගේ ඉල්ලා අස්‌වීම සාධාරණීකරණයේ ලා ඔහු විසින්ම ඉදිරිපත් කරන ලද හේතුව රට තුළ අනපේක්‌ෂිත ආන්දෝලනයක් කිරීමට සමත් වූ වග පැහැදිලි විය.
"රටේ සෑම ක්‍ෂේත්‍රයක්‌ම වසාගෙන සිටින වංචාව සහ දූෂණය ඉවසමින් තව දුරටත් පාලක පක්‌ෂයේ නිලයක් දැරීමට මගේ හෘදය සාක්‌ෂිය ඉඩ නොදෙන හෙයින්..."
සත්‍යානන්ද ඇමැතිතුමාගේ ඉල්ලා අස්‌වීම හුදකලා කේවල සිද්ධියක් ලෙස ගෙන නොසලකා හැරීමට රජයට නොහැකි වූයේ ඒ හා සමඟම උද්ගත වූ තවත් විශේෂිත සිද්ධියක් හේතුවෙනි. ඔහුගේ එම නිර්භීත පියවර අනුමත කරමින් සහ අනුගමනය කරමින් පාලක පක්‌ෂයේ මහජන නියෝජිතයන් කිහිප දෙනෙක්‌ම තම තනතුරුවලින් ඉල්ලා අස්‌වී ඔහු සමඟ සන්ධානගත වීම සමඟ ඇති වූ දේශපාලන විප්ලවය කාගේත් නෙත් විවර කරන්නක් ම වීමය.
තත්ත්වය සැබැවින්ම බැරෑරුම් විය. රජයේ ගණපූර්ණය පවත්වා ගැනීමට සුලු පක්‌ෂය හා සන්ධානගතවීම් වැනි සියලු ප්‍රයත්නයන් ව්‍යර්ථ වී අවසන රජය විසුරුවා හැර මහ මැතිවරණයකට දින නියම කිරීම හැර වෙනත් විකල්පයක් ආණ්‌ඩුව සතු නොවීය.
මැතිවරණ වේදිකාවේදී තම ජයග්‍රහණය උදෙසා සටනට එළැඹි සියලු දේශපාලන පක්‌ෂ කෙතරම් ක්‍රම සහ විධි අනුගමනය කළද මෙවර සියලු දෙවිවරු, යක්‌ෂයන්, ප්‍රේත කුම්භාණ්‌ඩයන් ඇතුළු සැමගේ ආශිර්වාදය සත්‍යවාදි පක්‌ෂය වටා රාශිභූත වූ අයුරු දක්‌නට ලැබුණි.
සැබැවින්ම ඔවුන්ගේ මැතිවරණ වේදිකාව අභියෝගවලින් තොර වූවක්‌ම විය. සත්‍යවාදී පක්‌ෂයේ මෙම අනපේක්‌ෂිත පිබිදීමට ඒකායන හේතුව වූයේ ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලදුව රටේ ජනතාවගේ ලේ මස් ඇට මිදුලු හරහා දිවගිය එකම මැතිවරණ පොරොන්දුව නිසාම බවට විවාදයක් නොවීය.
"සියයට සියයක් වංචා දූෂණවලින් තොර පරමාදර්ශි රජයක් සඳහා...."
ස්‌ලොගනය සිත් ආකර්ෂණය කරවන්නක් විය. වර්ණවත් ස්‌ටිකර් තුළ මුද්‍රණය වූ එය රටේ දසතම ප්‍රසිද්ධ ස්‌ථාන, වෙළෙඳසල්, වාහන හා ඇඳුම් පැළඳුම්වල පවා ප්‍රදර්ශනය වන්නට විය.
යන්තම් වචන හැසිරවීමට තනනන දරුවාගේ සිට මහල්ලාගේ පවා දෙතොල සලිත කිරීමට මෙය සමත් වූ අතර තරුණ ප්‍රජාවද එම පරමාදර්ශී දේශයේ නියමුවන් වීමට වලිකෑහ.
"සත්‍යානන්ද මහත්මයා අපි මේ ස්‌ලෝගනය අලුත් ක්‍රමයට ලෝන්ච් කරමු." මැතිවරණ උපදේශක කණ්‌ඩායම් යෝජනාව ප්‍රායෝගික විය. එකම පොරොන්දුව ජන හදවතට කිදා බසින සුලු වැඩ පිළිවෙළක් දියත් විය.
දිවයිනේ ප්‍රසිද්ධ විහාරයක විහාරාධිපති ස්‌වාමීන් වහන්සේ නමක් හා අනෙකුත් ආගමික නායකයන්ගේ ආගමික කටයුතු වලින් අනතුරුව වේදිකාව මත නැගී සිටි සත්‍යානන්ද මහතා විසින් තනි වාක්‍යයකට කැටිකළ තම මැතිවරණ පොරොන්දු සහිත ඩිජිටල් බැනරයක් විවෘත කරන ලදී.
"බලයට පත්ව දින සියයක් තුළදී රටේ වංචාව හා දූෂණය සියයට සියයක්‌ම ධූරීභූත කිරීමට නොහැකි වුවහොත් ඊළඟ පැයේදී රජය විසිරුවා හැර දේශපාලනයෙන් ද සමුගනිමි."
සත්‍යානන්ද මැතිනිය මැතිවරණ වේදිකාව මත පෙනී සිටියා ය. ජාතික හා ජාත්‍යන්තර සියලු මාධ්‍ය කැමරා විදුලි බුබුළු දැල්වෙන්නට විය. ඇය සිහින් කටුවක් ගෙන වේදිකාව මත සිටි තම සැමියාගේ දකුණත දබරැඟිල්ල සිදුරු කළාය. ගලා ආ ලේ බිඳුව තිරය වෙත යොමුකර තිබූ ප්‍රක්‍ෂෙපණ යන්ත්‍රවලින් විශාල ලෙස ප්‍රදර්ශනය විය. සත්‍යානන්ද මහතා තම මැතිවරණ ප්‍රකාශනය ලේ වලින් අත්සන් කරන අයුරු ඩිජිටල් පුවරුවේ සමීප දර්ශනයන් මගින් ලක්‌ෂ සංඛ්‍යාත ජනතාව දැක ගත්හ. නැඟුණු අත්පොළසන් හඬ ඔල්වරසන් හඬ අතර සාධුකාර නාදය ද ඉස්‌මතු ව ඇසුණි.
මැතිවරණ දිනය උදාවිය. ඡන්දය දීමට නොපැමිණියේ මරණයට පත්ව සිටි අය පමණි. වාර්තාගත ඡන්ද ප්‍රමාණයක් ප්‍රකාශ වූ බව අදාළ නිරීක්‍ෂකයන්ගේ වාර්තාවල සඳහන් විය.
අවසන මහ මැතිවරණයෙන් ජයලැබූ සත්‍යවාදී පක්‌ෂය ව්‍යවස්‌ථාදායක සභාවේ අධි බහුතරයක් සහිතව ආණ්‌ඩුවක් පිහිටුවනු ලැබීය.
සියල්ල නිවැරදි විය. රටේ සියලු ක්‍ෂේත්‍ර මැතිවරණ පොරොන්දුවට පූර්ණ වශයෙන් අනුකූල ලෙස ක්‍රියාත්මක විය. සියලු ජනතාවගේ කේවල සිත්හි පටන් මහා පරිමාණ ප්‍රජාවගේ සිත්තුළ වංචාව හා දූෂණය පිටුදැකීම මෝදු වී මෝරන්නට විය. වංචාව හා දූෂණය අරබයා විරෝධාත්මක ආකල්ප සියලු ප්‍රාණයන්ගේ හදවත් තුළ ජනිත වූ අතර ඒ තුළ අව්‍යාජත්වය දෝරගලන්නට විය. වංචාව හා දූෂණය යන වදන ශබ්ද කෝෂයෙන් පවා සොයා ගැනීමට නොහැකි විය. සියලු සිත් පහන් විය.
මැතිවරණ සමයේ ප්‍රකාශ කළ අයුරු රජයේ ආයු කාලය දින සියයකට ආසන්න වත්ම අපේක්‌ෂා කළ අයුරින් රට තුළ සියලු වංචා දූෂණ ධූරීභූත වී තිබුණි.
එහෙත් මේ සුබවාදී පෙරළිය රටේ අර්බුදකාරී සමාජ පරිවර්තන රාශියකට අඩිතාලමක් බවට පත්වීම වැළැක්‌විය නොහැක්‌කක් විය. රටේ සියලු ආයතන සමාජ ස්‌ථර වසා ගනිමින් මෙම "සුබවාදී" සුනාමිය පැතිරෙන්නට විය. රජයේ සහ පෞද්ගලික සියලු ආයතන ක්‍රියාකාරිත්වයට කණකොක් හඬ ඇසෙන්නට විය.
සියලු වංචා දූෂණ තුරන්වීම හේතුවෙන් රටේ පොලිසියට කළයුතු කාර්යයක් ඉතිරි නොවුණි. පොලිසියේ රාජකාරී කරන්නවුන් හැර අන් කිසිම ප්‍රාණියෙකුට පොලිස් භූමියකට ඇතුල් වීමට අවශ්‍යතාවක් නොවුනි. මහමග වාහන හැසිරවීමට තවදුරටත් අවශ්‍යතාවක් නොවුණි. රටේ කිසිම රියෑදුරෙකු අබමල් රේණුවක වැරැද්දක් නොකළේය.
මේ හා සමානව රටේ ග්‍රාමීය අධිකරණයේ සිට මහාධිකරණය දක්‌වා කිසිදු අලුත් නඩුවක් ඉදිරිපත් නොවූ අතර පැමිණිලිකරුවන් ඉදිරිපත් නොවුණ හෙයින් එතෙක් වූ සියලු නඩු ලිපිගොනු වසා දැමීමට සිදුවිය. කිසිදු නඩුවක් ඉදිරිපත් නොවුණ තැන තව දුරටත් වැටුප් ලබනු කුමට ද? සියලු විනිශ්චයකරුවන් පෙරකදෝරුවන් ලිපිකරුවන් ඈ සියලු සේවකයන් හෘද සාක්‌ෂියට එකඟව රැකියාවන් හැර ගියහ.
මිනිසකු තවදුරටත් සිරකරගෙන සිටීම මහා වංචාවකි. දැන් රටේ වංචාවන් නැත. සියලු හිරගෙවල් විවෘත විය. කිසිවකු ඊට හරස් නොවුණි. සියලු සිරකරුවන් බිමට යොමුකරගත්... හිසින් යුතුව සත්‍යවාදී හැඟීම් සිත්හි පුරවාගෙන ආරක්‌ෂක නිලධාරීන් රහිත භූමියෙන් පිටට ගියහ. සියලු නිලධාරීන් ද සේවයෙන් සමුගෙන තිබුණි.
අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ මහා විප්ලවයකි. ගුරුවරු හරියටම පෙරවරු අටට වැඩ ඇරඹූහ. පාසල ඇරෙන තුරු අකුරටම රාජකාරි කළහ. කිසිවකු නිවාඩු ගත්තේ පාසලට පැමිණීමට නොහැකි තරම් සැබෑ වූ රෝගයක් වැළඳීම නිසා පමණි. ගුරුවරු පාලනය කළ යුතු නොවීය. විදුහල්පතිවරු මඳ සිනාවෙන් යුතුව ඉල්ලා අස්‌වීම් ලිපි ඉදිරිපත් කළහ. දෙපාර්තමේන්තු පරීක්‍ෂකවරුනට කළයුතු පරීක්‌ෂාවක් නොවීය.
වැඩ පරීක්‌ෂක, නිරීක්‌ෂක, පරිපාලක, කළමනාකරණ ආදි චරිත තවදුරටත් අවශ්‍ය නොවීය. එහෙයින් එවන් තනතුරු දැරුවෝ තමන් විසින් කළයුතු රාජකාරියන් නොමැති බව අවබෝධ කරගති. සුපුරුදු ඉල්ලුම් පත පිරවුණි.
සිසුන් තම විභාග ප්‍රශ්න පත්‍ර නිවසට ගෙනගොස් නියමිත කාලය තුළ පිළිතුරු සපයා ඉදිරිපත් කළ අතර කිසිදු ආත්ම වංචාවක් සිදු නොවුණි. විභාග ශාලා සේවකයන් විභාග පරීක්‌ෂකවරු තවදුරටත් සේවයට වාර්තා නොකළහ.
බස්‌රථවලට කොන්දොස්‌තර තනතුරක් අවශ්‍ය නොවීය. කච්ෙච්රිවල ඔප්පු තිරප්පු මිටි දුහුවිල්ලෙන් වැසී ගියේය. කිසිවකු තවකෙකු සතු ඉඩමකට දේපළවලට සිතින් හෝ ඇලුම් නොකළේය. රෙජිස්‌ට්‍රාර්වරු ඉල්ලා අස්‌වූහ.
ලේඛනයක අත්සන් කර පොරොන්දු වීමට අවශ්‍යතාවක් නොවුණ තැන විවාහ වූ ජෝඩු රෙජිස්‌ට්‍රාර්වරයා වෙත නොගියහ.
රෙජිස්‌ට්‍රාර්වරු සේවයෙන් ඉවත් වූයේ ස්‌වේච්ඡාවෙනි. නීති රීති අවශ්‍ය නොවුණ තැන නීති අධ්‍යාපන පීඨ වැසුණි.
සමහර ආගමික පූජකවරුන් ද හාමුදුරුවරු රැසක් ද ආරාම වලින් ඉවත් වූයේ උන් වහන්සේලාගේ හෘදය සාක්‌ෂියට එකඟවය.
වෙළෙඳසල්වල දොර වැසුණේ සතුන්ගෙන් සර්පයන්ගේ ආරක්‌ෂාවීමට පමණි. වෙළඳසල්වල වූයේ හිමිකරු හා සේවකයන් දෙතුන් දෙනෙක් පමණය. මුරකරුවන් ආරක්‌ෂක නිලධාරීන් වෙනත් සාධාරණ රැකියා පෝළිම්වල දක්‌නට ලදහ.
මෙවන් වූ පරමාදර්ශී රටකට යුද හමුදාව කුමටද? සියලු නිලධාරීන් තම ආයුධ භාරදී සේවයෙන් සමුගත්හ. බාහිර රටකින් එල්ලවිය හැකි අනතුරකට මුහුණ දීමට පමණක් කිහිප දෙනෙක් හමුදාවන් තුළ ඉතිරි විය.
රට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පරමාදර්ශි විය.
එහෙත්....
රැකියාවන් අහිමි වු, රැකියාවලින් ඉල්ලා අස්‌වූ එක්‌කෝටි හතලිස් ලක්‍ෂයක් පමණ වූ ජනතාවට කිසිදු ආදායමක් නොවුණ තැන තම දරු පවුල් නඩත්තු කරගත නොහැකි විය. යෑපීම් මාර්ගයක් නොමැති විය. සොරකම් කිරීම් නොහැකි විය. වංචාව සිතෙන් තුරන්ව ගොස් තිබූ හෙයිනි.
සියලු දෙයම සත්‍යගරුක රැකියා අපේක්‌ෂාවෙන් මහමගට බටහ. එහෙත් ආපසු පැමිණියේ හිස් අතිනි.
ගම් නියම්ගම් පසු කරමින් උපනගරවලින් ප්‍රධාන නගරවලට ද ඉනික්‌බිති අග නුවරටද සත්‍යවාදි රැකියාවක් පතා පා ගමනින්ම ආ කෝටියක පමණ ජනරළ දෙස පාලකයන් බලා සිටියේ අන්දමන්ද වූ දෙනෙතින් යුක්‌තවය. පාර්ලිමේන්තුව ඇතුළු සියලු පරිපාලන ආයතන වටා වාඩිලා ගත් ජනතාවගේ එකම හඬ වූයේ හිතට එකඟව ජීවත්වීමට රැකියාවන් ලබාදෙන ලෙසය.
පාලන ආයතන අවට සුවහසක් ජනතාව රැස්‌වුවද කිසිදු ප්‍රචණ්‌ඩ ක්‍රියාවක සේයාවක් වත් නොවුයේ සියලු සිත්වලින් ප්‍රචණ්‌ඩත්වය තුරන් වී තිබීම නිසාය. මහමග වාඩි වී සිටි බොහෝ දෙනා නිරාහාරව සිටි නිසා ක්‌ලාත්ත වූහ.
පාලන අධිකාරීන් වහා රැස්‌වූහ. පැය ගණන් වාද විවාද අවශ්‍ය නොවීය. සියලු දෙනාම සත්‍යවාදි වූහ. ජාතික ගැටලුව වහා අවබෝධ කර ගත්හ. රැකියා උත්පාදනයේ ලා වංචාව හා දූෂණය අත්‍යවශ්‍ය සාධකයන් බව අතැඹුලක් සේ පසක් කරගත්හ. වංචාව හා දූෂණය නොමැති රටක පවත්නා රැකියාවල ස්‌ථාවරත්වයක් නොමැති බවද පසක් කර ගත්හ.
සුවහසක් වූ ජනතාවගේ මෙම ගැටලුව සඳහා විකල්ප විසඳුමක් ඉදිරිපත් නොවීය.
සේවකයන්ගේ ඉල්ලා අස්‌වීම නිසා සියලු වැටුප් භාණ්‌ඩාගාරයේ පිරි ඉතිරී තිබුණි. සෑම පවුලකටම නඩත්තු මුදලක් ඉන් ලබාදීමට ඉදිරිපත් වූ යෝජනාව ලත්තැනම ලොප් විය. ඊට හේතු වූයේ සේවාවක් නොකර මුදල් ලබාගැනීමට සියලු දෙනාම අකැමැත්ත පළකිරීමය.
මහා ජාතික ගැටලුව විසඳීමට තම තමන්ගේ නොහැකියාව තේරුම්ගත් සියලු දේශපාලන නායක කාරකාදීන් සිය ඉල්ලා අස්‌වීම් ඉදිරිපත් කර ජනතාවගෙන් සමාව ඉල්ලීමට තරම් නිහතමානී වූහ.
රජයේ ආයු කාලය දින සියයක් ගතවත්ම රජය විසුරුවා හැරිණි. එපමණක් නොව ඔවුන් පරම හා අවංක ෙච්තනාවෙන් මෙම මහා ජනතා ගැටලුවට විසඳුමක් ලබාදීමට හැකි කණ්‌ඩායමකට බලය ලබාදීම් වස් මහ මැතිවරණයකට දිනයක් ද නියම කළහ.
මහ මැතිවරණ සටනට එකතු වූ පක්‌ෂ අතර සත්‍යවාදී පක්‌ෂය ද විය. අනෙකුත් පක්‌ෂ අතර සත්‍යානන්ද මහතාගේ සත්‍යවාදී පක්‌ෂයේ මැතිවරණ ප්‍රකාශයට විශේෂ ස්‌ථානයක් හිමිව තිබුණි.
මෙවරද ඔවුන් ඉදිරිපත් කළේ මැතිවරණ පොරොන්දු එකක් පමණි.
"රටේ සියලු දෙනාම සඳහා රැකියා උත්පාදනය කිරීමටත් ඒවා ස්‌ථාවර කිරීමටත් අත්‍යවශ්‍ය ගාමක බලවේගය වන වංචාව හා දූෂණය සියයට සියයක්‌ම නැවත ස්‌ථාපිත කර පරමාදර්ශි රාජ්‍යයක් බිහිකිරීම අපගේ ඒකායන අපේක්‌ෂාව වේ."
ආකර්ෂණීය මැතිවරණ පොරොන්දුව වටා ජනතාව රොද බැඳෙන්න වූයේ ගුලකට එකතුවන මී මැස්‌සන් සමූහයක් මෙනි.
බොක්‌කාවල - සුසිල් කුලතුංග
මෙය.... "කෙටි කතා" කියන සාහිත්‍යාංගමය වපසරියට තබා, එහි හතර මායිමටවත් කිසිසේත් ඇතුලත් නොකළ යුතු .... යාං හෑල්ලකි !
If you are interested in reading management in SINHALA please click the link below(ජිනසිරි වික්‍රමරත්න - සිළුමිණ සත්මඩල)
සිරිමෙවන් විවාහයෙන් පසුව අලුත් නිෙවසක් තැනීම ආරම්භ කළේ වෙන්දේසියෙන් ගත් ඉඩමකය. ඉතා සුන්දර පරිසරයක් වූ මෙම ඉඩමේ පදිංචි වීමට කුඩා කල සිටම තිබුණු ආශාවක් මේ අයුරින් ඉටු කර ගැනීමට හැකි විය. තම පියා සතු ඉඩම් රාශියක් ඒ අවට තිබුණු නමුත් නිදහසේ ජීවත් වීමට හොඳ පරිසරයක් අවශ්‍ය බව ඔහුගේ වැටහීම විය. නගරයට ආසන්නව තිබුණු නමුත් ප්‍රධාන පාරට තරමක් දුරින් පිහිටීම තවත් වාසියක් විය.
වෙන්දේසිකරුවන් එක් එක් ඉඩමට යෑම සඳහා රවුම් පාරවල් යොදා රමණීය ලෙස ඉඩම සකස් කර තිබුණි.
මහ පාරේ සිට ඉඩමට එන මෝටර් රථයක් නිෙවසට පැමිණීමට විනාඩි කිහිපයක් ගත වේ.
රවුම් පාරේ පැමිණි මොරිස් ඔක්ස්ෆර්ඩ් කුලී රථය, තම මිදුලේ නවත්වනු සිරිමෙවන් බලා සිටියේ විස්මයෙනි. නිෙවස තනා නිමකර නොතිබුණු බැවින් නෑදෑයකුට හෝ වෙනත් අමුත්තකුට තම ගෙදරට පැමිණෙන ලෙස ආරාධනාවක් කළ බවක්ද සිරිමෙවන්ට මතක නැත.
රථයෙන් බිමට බැස්සේ බන්දුපාල ඔහුගේ බිරිය සහ දින කිහිපයක් වයස් වූ බිලිඳකු ද වීම ඔහුගේ විස්මය තවත් වැඩි කළේය.
“සුදු අක්කේ ඔන්න අපි ආවා. කොහෙද ඉතින් අපිම එනවා මිසක් අපි ඉන්නවද මැරිලද කියලා ඔය ගොල්ල හොයන එකක් යැ. ඒත් ඉතින් අම්මගෙයි... අක්කගෙයි දුක සැප බලන්නට එන එක අපේ යුතුකමක්නේ...” කියමින් බන්දුලපාල ගෙට ගොඩවූයේ විශාල සූට්කේස් තුනක්ද දෑතට ගනිමිනි.
සිරිමෙවන් ගොළුවකු මෙන් නිහඬ ය. විස්මය වැඩිකමට ඔහුගේ කටද බාගෙට ඇරී තිබුණි. නැන්දම්මා හා සිරිමෙවන්ගේ බිරිය අනෝමා ද දොරකඩට පහළ වූයේ ප්‍රාතිහාර්යයකින් මෙනි. කුලී රථයේ රියැදුරු සිල්වා සිනාසෙමින් මේ නාඩගම නරඹයි.
“සුදු අක්කේ ඉක්මනට ම අර ඩ්‍රයිවර්ගේ කුලිය දීලා යවන්න. ඒකා කට ඇරගෙන බලා ඉන්නවා.” බන්දුපාල කීවේ අපහාසාත්මක ලෙසිනි. සිරිමෙවන් කාමරයට ගොස් රු. 200 ක් ගෙනැවිත් සිල්වාගේ සාක්කුවට එබූ විගස ම ඔහු රථය පණ ගන්වා ඉගිළී ගියේ ය.
බන්දුපාල දුටු මුල් දිනයේ, එනම් තම විවාහ මංගල දිනයේ දී බන්දුපාල හැසිරුණු ආකාරය සිරිමෙවන් ගේ සිත් ගත්තේ නැත.
එදින මොහු හැසිරුණේ මඟුල් ගෙදර සියලු වගකීම් තමාගේ කරපිට වැටුණු ලෙසට ය. අනෝමාගේ පියා කලක් පිටරට සිටි නිසාත්, මෙවැනි සංවිධාන කටයුතු ගැන නොදත් කෙනෙකු නිසාත්, ඔහු කළේ අවශ්‍ය ප්‍රතිපාදන සැපයීම පමණකි. පසුව සිරිමෙවන් දැනගත් පරිදි, මඟුල් ගෙදර සියලු වැඩ කටයුතු කෙරුණේ කොන්තරාත් ක්‍රමයට ය. ඒ සියලු කොන්තරාත් බන්දුපාල විසින් බාරගෙන තිබුණි.
මඟුල් ගෙදරදී සිරිමෙවන්ගේ ඥාතීන්ට එතරම් පිළිගැනීමක් නොතිබුණි. හේතුව වූයේ පැමිණි වැඩිහිටි අය බොහෝ දෙනෙකු ජාතික ඇඳුමින් සැරසී සිටීම නිසා ය. සිරිමෙවන්ගේ පියාද ඇඳ සිටියේ ජාතික ඇඳුමකි. ඔහු සිංහල නොතාරිස් කෙනකු වූ අතර සිරිමෙවන්ගේ මව සිංහල පුහුණු ගුරුවරියකි. සිරිමෙවන්ගේ පියා මධ්‍යම පාන්තික ඉඩම් හිමියෙක් ද විය. ඔහු සතු මෝටර් රථයක් ද තිබුණි. ඔහු ඉංග්‍රීසි බස හොඳින් දැන සිටි නමුත් කිසි දිනක ඉංග්‍රීසියෙන් කථා කරනු සිරිමෙවන් දැක නැත. එහෙත් දිනෙක ඔහුගේ පියා රබර් වගා ණය අනුමත කිරීම සඳහා පැමිණි සුද්දකු සමඟ ඉංග්‍රිසියෙන් කතා කරනු දුටු සිරිමෙවන් පුදුමයට පත් විය. ඔහුට දෙමළ බසද හොඳ හැටි කතා කළ හැකි විය.
“අපි ඉංග්‍රිසීන්ගෙන් ගන්ට ඕනෑ හොඳ දේවල් පමණයි. ඔවුන්ගේ භාෂාව හොඳ එක් දෙයක්. ඒක අන්තර් භාෂාවක්. මේ රටේ හැම දරුවෙක් ම ඉංග්‍රිසි හොඳට ඉගෙන ගන්ඩ ඕනෑ... හැබැයි ඉංග්‍රිසි උජාරුවට පළඳින ආභරණයක් නොවෙයි... තමන්ගේ හැම නැති බැරි කමක් ම ඉංග්‍රීසි වලින් වහගන්ඩ පුළුවන් කියලා හිතන ගොන් රැලක් තවමත් මේ රටේ ඉන්නවා.. අපේ ධර්මපාල තුමා එදා උන්ට හොඳ ම බැට දුන්නා..”
පියාගේ මේ අදහස් සිරිමෙවන්ගේ සිතෙහි තැන්පත් වූයේ කුඩා කල සිට ම ය. කලිසමට ආවඩන ඉංග්‍රිසි ගැත්තකු වූ බන්දුපාල සිරිමෙවන්ට රුචි නොවූයේ මේ නිසා ය.
සිරිමෙවන් සාලයට යන විට බන්දුපාල සහ ඔහුගේ බිරිය එළියට බැස ගෙය අවට නිරීක්ෂණය කරමින් සිටියහ.
පළමුවෙන් ම කථා කළේ බන්දුපාල ය. අනෝමා තේ පැන් පිළියෙල කිරීමට ගෙතුළට ගොස් සිටියාය.
“අපොයි අපි දන්නේ නැහැනේ... මේ ගෙය හදලා ඉවර නැති බව... දන්නවා නම් එනවා තියා හිතන්නේවත් නැහැ... අපට යසට බංඩාරවෙල යන්ට තිබුණා. නේද චන්ද්‍රා... (චන්ද්‍රා යනු ඔහුගේ බිරියගේ කෙටි නමය) සුදු අක්කා දන්නවා... අපේ සැම්සන් අයියා... එයා බණ්ඩාරවෙල අධ්‍යාපන කාර්යාලයේ OA. එයාට තියෙනවා මාර බංගලාවක්... වතාවක් අපි දවස් තුනක් එහි සිටියා.”
සිරිමෙවන් නිකට කසමින් වටපිට බලන්නට විය. සිරිමෙවන්ට හොඳ පිළිතුරක් කටට ආ නමුත් නැති ප්‍රශ්න ඇති කරගන්නේ මොකටදැයි සිතා නිහඬ විය.
“අන්න තේ ලෑස්තියි... බීලා හිටියා නම් පස්සේ කතා බස් කරන්ට බැරුවයැ...” අනෝමා වචනයක් දැම්මේ නියම වේලාවට යැයි සිරිමෙවන්ට සිතුණි.
තේ මේසය, රස කැවිලි තුන හතරකින් හා කෝලි කුට්ටු ඇවරියකින් සමන්විත විය. එහෙත් බන්දුපාල මූණ ඇඹුල් කර ගත්තේ ය.
“අයියෝ... අක්කත් නියම ගොඩයෙක් වෙලානේ... කෝ කට්ලස්.. කෝ පැටිස්... සැන්ඩ්විච්? ඒවානේ මේ වේලාවට හරියන්නේ...”
බිරිය බන්දු දෙස රවා බැලුවාය. “ඒවාට තව වෙලා තියෙනවා... අයියා ලෑස්ති කරලා ඇති... ඊට පස්සේ දෙන්න එක්ක කදේ වැටෙයි...”
බන්දුගේ මුහුණු සුපිපි නෙලුම් මලක් මෙන් පැහැපත් විය.
“අනේ ඔව් අයියා... අපි කාලෙකින්නෙ හමුවුණේ... දාමු මරු පාටියක්... ප්‍රින්සිපල් කෙනෙක්නේ බියර්... විස්කි පුරෝලා ඇති...”
හරියට ම මේ වේලාවට අනෝමා මැදිහත් වීම සිරිමෙවන්ට මහත් සහනයක් විය.
“අයියා දැන් බොන්නේ නැහැ. ඇරත් මේ දවස්වල එයා පාඩම් කරනවා... පරිපාලන විභාගෙට... දැන් ඉතින් අපි ගැන විස්තර ඔය මදෑ... ඔයාලා ගැන කියන්නකෝ...”
බන්දුගේ විස්තරය අනුව ඔහු “සොකාටෝ” නම් ජපන් කේබල් සමාගමේ විධායක ඉංජිනේරුවෙකි. ජපන් ඉංජිනේරුෙවා් පස් දෙෙනක් ඔහු යටතේ වැඩ කරති. ඉතා සුළු කාලයකින් ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවකු වීමට ඔහුට හැකි වූයේ ඔහුගේ කාර්යශූර බව නිසා යැයි ඔහු කීවේ හිසද ඉහළට ඔසවමිනි. මේ තනතුරට හිමි පහසුකම් ගැන ඔහු විස්තර කළේ ඒවාද ප්‍රමාණවත් නොවන බව කියමිනි. සිරිමෙවන් ගෙය තනා තිබුණේ සමතලා බිමක නොවේ. ඉහළ බිම් තලයේ නිදන කාමර දෙකක් ද කුස්සියක් ද නවීන නාන කාමරයක් ද වූ අතර, විශාල සාලය ද ඒ කොටසේ තිබුණි. පහළ කොටසේ ගබඩා කාමරයක් හා තවත් කාමරයක් ද විය. මේ තත්ත්වය යටතේ අමුත්තන්ට දීමට තිබුණේ පහළ බාගයට ඉදිකළ ගබඩා කාමරය හා වැඩ නිම නොකළ අනිත් කාමරය පමණ ය.
මේ අතරතුර බන්දුගේ බිරිය ඔවුන්ගේ බර සූට් කේස් තුන, සිරිමෙවන්ගේ නිදන කාමරයට ගෙන ගොස් තැබුවේ ගෙදර ඉඩකඩ තිබුණු එක ම කාමරය එය වූ නිසා ය.
“ශහ්... ඈතින් නිල්පාට කඳු... අනිත් පැත්තෙන් කුඹුරු යාය... මේ කාමරය නම් මරු... බන්දුගේ බිරිය කීවේ හැමටම ඇසෙන පරිදි ය...”
“මේක අපේ නිදන කාමරය... සිරිමෙවන් කැමති වෙන එකක් නෑ.. ඊටත් වඩා එයාගේ විභාගෙත් ළඟයි... ඔය ගොල්ලන්ට දෙන්න වෙන්නේ පහළ කාමරය තමයි...” අනෝමා කීවේ මහත් අපහසුවෙනි.
සිරිමෙවන්ගේ කොඳු නාරටිය හිරිවැටී ගෙන ගොස් නැවත යථා තත්ත්වයට පත්විය. සෙනසුරාදා සහ ඉරිදා යන්තම් අමාරුවෙන් ගත කර ගත් අනෝමා සඳුදා සැමියාත් සමඟ රැකියාවට යාමට සූදානම් වූවා ය.
සිරිමෙවන් මෝටර් රථයට ගොඩ වෙන්නට යන විට බන්දුපාල ලහි ලහියේ ඔහු අසලට දිව ආවේ වැදගත් වණිවුඩයක් දැනුම් දීමට ය.
“සුදු අක්කේ... අනේ අපට පොඩි අමතක වීමක් වුණා. දරුවාගේ කිරිපිටි ඉවරයි. අපි දෙන්නේ SMA නේ. ගොඩේ පළාත්වල ඒවා ඕන තරම් තියෙනවා.
“ඇයි දරුවාට මව් කිරි දෙන්නේ නැද්ද...” සිරිමෙවන් ඇසුවේ විමතියෙනි. දින කිහිපයක් වයසැති බිළිඳකුට පිටිකිරි දීම ඔහුගේ විමතියට හේතුවයි.
“අයියෝ අයියලා මොනවාද දන්නේ මව් කිරි දරුවන්ට හොඳ ම ආහාරය කියලා ආණ්ඩුවේ දොස්තරලා කියනවා තමා. ඒ දුප්පත් උන්ට. රට කිරි හදලා තියෙන්නේ අවශ්‍ය ප්‍රෝටීන් ආදිය දාලා. මව්කිරිවල ඒවා තියෙනවාද? ඇරත් උන් කන කොළ ජාති! හාල්මැස්සන් වගේ දහ ජරාව කාලා ප්‍රෝටීන් ලැබෙනවා ද? ඕවා ඔක්කොම ආණ්ඩුවෙ ගැටසූස්තර... අයියලා මෙච්චර ඉගෙන ගෙනත්.. අනේ මන්දා..” එදින රාත්‍රියේ තාත්තා පැමිණීම සිරිමෙවන්ගේ සිතට සහනයක් විය.
“ලොකු පුතා විභාගයත් ළඟයිනේ... මෙහේ ටිකක් කරදර පාටයි... අද ඉඳන් මහගෙදරට ඇවිල්ලා වැඩ ටික කරගන පාස්වෙන්ට බලන්න”
ඒ ඉල්ලීම අනුව ඔවුහු මහ ගෙදර ගියහ. අම්මාටත්, බන්දුලාටත් සතියකට දෙකකට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙදර ඇති බවට අනෝමා සහතික වූවා ය. විභාගය අවසන් වීමෙන් පසු සතියකට පසුව ඔවූහු නැවත තම ගෙදර පැමිණියහ.
අම්මා හොඳට ම අසනීප වී ඇති බව අනෝමාට පෙනුණි. කකුල් දෙක ඉදිමී උණ රෝගයක් වැලඳී තිබුණි.
“ඔයගොල්ලෝ සනීප ගන්ට මහගෙදර ගියා. අම්මා මෙතන වැඩට දාලා... පුදුම දරුවෝ තමා..” බන්දු වගපල කියන්නට විය.
“අම්මා ලෙඩ උණේ ඔයාලා හින්දා... අම්මා ලව්වා... වැඩ ගන්න ඇති. මම දන්නවා ඔයාලගේ හැටි... මේක ඉතින් මගේම කරුමෙ තමා...” අනෝමාද කඩා පැන්නා ය.
එදිනම සවස බන්දු සහ බිරිය ආපසු යෑමට සූදානම් වූහ. සිරිමෙවන් තමාගේ මෝටර් රථයෙන් ඔවුන් බස් රථ නැවතුම්පළ දක්වා ගෙන ගියේ ය.
“ආයි නම් ඕකි මළත් ආයෙත් මුං බලන්ට එන්නේ නැහැ. අපිට මේවා හොඳ පාඩම්” බන්දුගේ අවසාන ප්‍රකාශය විය.
ඔවුන් ගිය පසු අම්මා සියලු තොරතුරු අනෝමාට පැවසුවේ සැහැල්ලු සිතිනි. ඔවුන් ගිය පසු ඇයගේ රෝගය ද තරමක් සුව වූ බව පෙනුණි.
“පුතාලා... ගිය දවසේ ඉඳන් බන්දුලා... කනවා බොනවා විනෝද වෙනවා.. පහළ කඩෙන් ණයට.. සොසේජස් හා චිකන් ගෙන්වා ගෙන මට උයන්ට කියනවා... අල්ලපු ගෙදරින් කිරිබෝතල් 10 ක් ගෙන්වා ගෙන බිව්වා ණයට. පුතාලා ආවම සල්ලි දෙයි කියලා කියනවා මට ඇහුණා... රෑ එළිවෙනකන් ළමයා අඬනවා.. මහ ගෑනි බලන්නේවත් නැහැ. මං නැගිටලා කිරි හදනවා.”
අම්මාගේ අඳෝනාව අසා සිටි සිරිමෙවන් කීවේ “හා... කමක් නෑ, දැන් ඉතින් එයාලා ගියානේ” කියා ය.
සිරිමෙවන් පළමුවෙන් කෙළ් අසල්වැසියන්ගේ ණය බිල් ගෙවා දැමීම ය. ළඟ ම කඩයේ මුදලාලි බිල් ගෙවන අතරේ කී කතාව නිසා ඔහුගේ ඇඟ හිරි වැටී ගියේ ය.
“මහත්තයාලා අපි වගේ නොවෙයි නේ. ඒ ගොල්ල හොඳට කාලා ඇඳලා ඉන්න වැදගත් අය... ලොකු රස්සාවල් කරන අයනේ... ජපන් සමාගමක කිවුවා ම කොච්චර පඩියක්ද... හැබෑවට ම මහත්තයා වගේ කෙනෙකුට ඒ වගේ නෑදෑයෙක් ඉන්න එක කොච්චර ආඩම්බරයක් ද?”
“මුදලාලි මට වැඩ තියෙනවා... එයාගේ ණය බේරුවා නේ, මම යනවා...” සිරිමෙවන් කඩයෙන් එළියට බැස්සේ කෝපයෙන් පුපුරමිනි.
හාන්සි පුටුවේ ඇලවී කල්පනා කරන්නට පටන් ගත්, සිරිමෙවන්ගේ අවධානය කැඩුණේ පත්තර කොලුවාගේ පැමිණීම නිසා ය.
“ඇයි මෙච්චර බිලක් මම ගන්නේ එක පත්තරයයි නේ...” සිරිමෙවන් කෑ ගසන්නට විය.
“නෑ මහත්තයා මේ බිල් ඔක්කෝම මහත්තයලගේ තමා. ඉංජිනේරු මහත්තයා ඉංග්‍රීසි පත්තර ඔක්කොම ගත්තානේ. සිංහල පත්තර ගේන්ටත් එපා කිව්වා. ඒත් ඉතින් මහත්තයා ඕඩර් කරලා තිවුණ නිසා මම ගෙනාවා.”
“අනෝමා මොකක්ද මේ මළ කරදරේ” සිරිමෙවන් කෑ ගසන්නට විය.
“ඔන්න ඕක ගෙවලා දාන්න.. ලැජ්ජා නැද්ද?” අනෝමා දුන් පිළිතුර ය.
පත්තර බිල ගෙවා දැමූ සිරිමෙවන් ගෙට ගොඩ වන්නට සූදානම් වන විට තාත්තාගේ මෝටර් රථය වංගුවෙන් හැරී නිවස දෙසට එනු දැක්කේ ය.
“මහගෙදර ඉඩමේ කොස්ගස් කිහිපයක් හා නැදුන් ගස් පහක් විකිණීම සඳහා ඇඩ්වාන්ස් ගත්තේ කාගෙන් අහලා දැයි” තාත්තා කෝපයෙන් ප්‍රශ්න කළේ ය.
“පවුලේ වැඩිමලා හැටියට ඔයිට වඩා කල්පනාවෙන් වැඩ කරනවා නම් තමා හොඳ... මං යනවා යන්න... සල්ලි ආපසු දෙනවා නම් හොඳයි... ලී මුදලාලිට මං බැනලා එළවා ගත්තා...” තාත්තා කීවේ කෝපයෙනි.
“තාත්තා ආපු ගමන් ම ගියා නේද?” අනෝමා ඇසුව් කණගාටුවෙනි.
“ඒකත් අර ඔයාගේ මල්ලි කියන යකාගේ වැඩක් තමා...” කී සිරිමෙවන් වීදුරුව පිරෙන්නට ම මත්පැන් වඩියක් ගෙන බී නිදා ගත්තේ ය.
තාත්තා අමනාප වීම නිසා සිරිමෙවන්ගේ සිතට දැනුණේ තද වේදනාවකි. ඒ වේදනාව බොහෝවිට අනෝමා සමඟ අමනාපයකින් කෙළවර විය.
එවැනි විටක අනෝමාද සිරිමෙවන්ට පෙරළා දොස් කියන්නට පසුබට නොවූවා ය.
“ඔයා හැමදාම ඔහොම තමා... මගේ කෙනෙක් අතින් වරදක් වුණොත් ඒක මහමෙර වගේ... ඔය ගස් කාට දෙන්නද තාත්තලා... යනකොට ඕවා ගෙනියනවා ද?” බන්දු කල්පනා කරන්නට ඇත්තේ අපට උදව්වක් කරන්ට... නැතිව එයාට ගස් මොකට ද....”
මේ ගැන තවදුරටත් වාද කිරීම අනවශ්‍ය යැයි සිරිමෙවන්ට සිතුණි.
ටික දිනක් කලබලයෙන් තොරව ගෙවී ගියේ ය. කාර් මාටින් හදිසියේ නගරයේදී හමුවෙන තෙක් කුණාටුව යළිත් හැමුවේ නැත.
“මහත්තයා රට යනවා කිවු නිසයි කාර් එක විකුණා දෙන්ට පොරොන්දු වුෙණ්. දැන් ඔන්න බයර් කෙනෙක් ඉන්නවා... ටිකක් ගාන අඩු කරලා දීලා දාමු... දැන් රු. 14500 ට අලුත් ම පෝක්ස් වැගන් රථ තියෙනවා නේ...” කාර් බ්‍රෝකර් රථයට තට්ටු කරමින් කියයි.
“මං කාරෙක විකුණන වගක් තමුසෙට කීවේ කව්ද? මං කීයටවත් මේක විකුණන්නේ නැහැ..”
කාර් බ්‍රෝකර්ගේ ඇස්වලින් ගිනි පිට වෙන්නා සේ සිරිමෙන්ට දැනුණි.
“මහත්තයා විහිළු කරනවාද... මහත්තයාගේ අර ඉංජිනේරු මහත්තයා මගෙන් ඇඩ්වාන්ස් එකකුත් ගත්තා රුපියල් පන්සියයක්...” මාටින් කියාගෙන ගියේ ය.
කාර් මාටින්ගේ තර්ජනයෙන් ගැලවීම සඳහා තමාගේ මිතුරකු වූ සාජන් පෙරේරාගේ උදව් ලබා ගැනීමට සිරිමෙවන්ට අවසානයේ සිදු විය.
මේ අතර වාරයේ තමාගේ පැරණි පාසල් මිතුරකු වූ ආනන්දගේ මංගල උත්සවයට ආරාධනයක් ලැබීම සිරිමෙවන්ගේ සතුටට හේතුවක් විය. මංගල උත්සවයට තනිව ම සහභාගී වන්නට සිරිමෙවන්ට සිදු වූයේ අනෝමාට පාසැලේ ක්‍රීඩා උත්සවය යෙදී තිබුණු නිසා ය.
මංගල උත්සවය නුවර හෝටලයක පැවැත්වුණු නිසා අනෝමාගේත් අම්මාගේත් ලොකු ම ඉල්ලීම වූයේ බන්දුට කුමක් වී දැයි දැනගෙන එන ලෙස ය.
උත්සවය අවසන් වූ පසු නුවර කොළඹ ශීඝ්‍රගාමී දුම්රියට වේලාව තිබුණු බැවින් සිරිමෙවන්, බන්දු ගැන සොයා බැලිය යුතු යැයි තීරණය කළේ ය.
බන්දු කියා තිබුණු පරිදි නගරයේ රාජ්‍ය සේවකයන්ගේ “ක්ලබ්” එකෙන් තොරතුරු දැන ගත හැකිවේ යැයි ඔහුට සිතුණි. සොකාටෝ නම් ජපන් කේබල් සමාගමේ කාර්යාලයට ගිය නමුත් ඔහුගේ අදහස ඉටු නොවූ බැවින් ඔහු දළදා වීදිය දිගේ හෙමින් හෙමින් ඇවිද ගෙන ගියේ සමාගමේ ලොරියක හෝ දක්නට ලැබේ යැයි සිතමිනි.
ඔහුගේ උත්සාහය හරි ගියේ ය. සොකාටෝ කේබල් මැනුපැක්චර්ස් සර්විසස් යන්න ඉංග්‍රිසි අකුරෙන් ලියැවුණු ට්‍රක් රථයක්, අසල ගසක් යට නවතා තිබෙනු ඔහු දුටුවේ ය.
කිලිටි කාකි කමිසයකින් හා කලිසමකින් සැරසුණු තරබාරු ජපනෙක් කාටදෝ අමු සිංහලෙන් බනිමින් රථය වටා කැරකෙමින් සිටිනු පෙනුණි.
“කෝ මේ ඩ්‍රයිවර්... මූ හැමදාම අරක්කු බීලා... මෙතන හැංගෙනවා.. මූ මොන ජාතියේ එකෙක් ද.. මේ ජරා හෝටලයට රිංගනවා... පාහර බල්ලා.. මාව කී දවසක් මෙතන රස්තියාදු කළා ද, මේකා මං අද අස්කරනවා...”
ජපනාගේ ගෝරනාඩුව ඇසුණු සිරිමෙවන් ළඟ තිබුණු ගසකට මුවා විය. ළඟ තිබුණු සයිවර් කඩයකින් මතුවූ බන්දුපාල ජපනාගේ ගෝරනාඩුව මැදින් පැමිණ රියදුරු ආසනයේ වාඩි විය. ඔහුගේ බියගුලු විලාසයත් අසරණ කමත් හොඳ හැටි නිරූපණය විය.
රථය වේගයෙන් ඉගිළී යන තෙක් පාර අයිනට වී සිටි සිරිමෙවන් ගෙදර ගොස් අනෝමාට කුමක් කිව යුතුදැයි සිතා ගත නොහැකි ව කල්පනා කරමින් ම ඉදිරියට ඇදෙන්නට විය.
ලිත කෙටිකතාව
“ඕ ක මටත් දෙයි ටිකක්”
කිරිඅත්තා ගේ ඉල්ලීම සැලකිල්ලට නොගත් කිරිඅම්මා තමාට ඇවැසි දේ කියවා ගැනීමෙන් පසු ලී රාමුව සහිත බිත්ති ලිත දෝතින්ම කිරි අත්තා අතට දුන්නාය.
ඔඩොක්කුවේ තිබූ බුලත් පෙට්ටිය පසකින් තබමින් කිරිඅම්මා දෙස නොබලාම කිරිඅත්තා ද දෑතින්ම ලබාගත් ලිත ප්‍රවේශමෙන් දෙදණ මත තබා එහි යමක් දෙස විමසිල්ලෙන් බැලීය. සිමෙන්ති දැමූ උඩපිල් පඩියේ වාඩිවී පහත පඩියේ දෙපා තබා ගෙන සිටින කිරිඅත්තා ලිත කියවන දෙස මඳ වේලාවක් එසේම වාඩි වී බලා සිටි කිරිඅම්මා ඇසේ දමාගෙන තිබූ රවුම් කන්නාඩි කුට්ටම ගලවමින් නැමීගෙනම ගෙතුළට ගියා ය.
විටෙක කිරිඅම්මා තනියම ද විටෙක කිරිඅත්තා තනියම ද බොහෝ අවස්ථාවල දෙදෙනාම එකට හිඳ ලිත බලන අවස්ථා මා අනන්තවත් දැක ඇත. කිරිඅත්තා සහ කිරිඅම්මා එසේ මොනවා ලිතෙන් බැලුවේ දැයි මට එකල කිසිදු හැඟීමක් නොතිබිණ. එපමණක් නොව ඒ ලිත කුමක්ද යන්න හෝ මා දැන සිටියේ නැත.
මට මතකයේ ඇති දා සිටම අත්තලාගේ ගෙදර ස්තෝප්පුවේ මේ ලිත එල්ලා තිබිණ. ඒ කිරිඅත්තාගේ ලණු ඇඳ තබා ඇති පය බිත්තියේ ඇඳ ඉහත්ත දෙසට වන්නට ය. ලිතේ ප්‍රමාණයට සකස් කළ ලී පටි රාමුවක ලිත අලවා තිබූ අතර අවුරුදු ගණනාවක ලිත් එකමත එක අලවා තිබූ හෙයින් එහි ගණකම අනුව ලී රාමුවක් අවශ්‍ය නොවන තරමටම අලවන ලද ලිත් වලින්ම එයට ශක්තියක් ලැබී තිබිණ. බිත්ති ලිතකින් ලබාගන්නා ප්‍රයෝජන අඩු වුවද අද තරම් එකල ලිත් බහුල නොවීය. ලිතක් තිබුණේ ගමේම ගෙවල් කීපයක පමණි. ඒ කිරිඅත්තා වගේම යමක් කමක් වැටහීමක් තිබූ කිරිඅත්තා ගේ සමවයසේ අයවලුන් කීප දෙනෙකුගේ ගෙවල් වලය.
දෙකන්නෙහිම වී අමුණු තුනක් පමණ ගොවිතැන් කළ කිරිබන්ඩා අත්තාගේ ගෙදර ද අසනීපයකට දෝෂයකට නූල් පොටක් වතුර ටිකක් මැතිරීමේ හැකියාවක් තිබූ සයිමන් අත්තලාගේ ගෙදර සහ හරක් වෙදකම ගැන දැනුමක් තිබුණු අමාරිස් වෙදඅත්තලාගේ ගෙදර ද ලිතක් එල්ලා තිබෙනු මා දැක ඇත.
සෑම අවුරුද්දකම ගෙදරට ලිතක් හා කැලැන්ඩරයක් ගෙන ඒම කිරිඅත්තාගේ සිරිතය. උඳුවප් පොහොය පහුවුණු මුල්ම සතියේ ඒ සඳහාම කිරිඅත්තා සිකුරාදා පොළට ගියේය. ලිතක් සහ කැලැන්ඩරයක් ගෙන ඒම සඳහා කිරිඅත්තා පොළට ගිය පණිවිඩය අපට ලැබෙන්නේ කිරිඅම්මාගෙනි.
“බලාපල්ලා අත්තා එනවාද කියලා ඕන් කැලැන්ඩරයක් ගේන්ඩ ගියේ.”
කිරිඅම්මා එසේ කියනුයේ ගෙදරට අලුත් කැලැන්ඩරයක් ගෙන ඒම අපට මහත් සතුටක් ගෙන දෙන්නක් බව කිරිඅම්මා දන්න නිසා ය. අලුතින් ගෙන එන කැලැන්ඩරයේ චිත්‍රය කුමක් දැයි දැක ගැනීමේ උනන්දුවෙන් අප දවසම පෙළෙන්නෙමු. කිරිඅත්තා එන මඟ මමත්, අක්කලා දෙන්නාත්, මල්ලීත් බලා සිටින්නේ බොහෝ අවස්ථාවල කෑමක් බීමක් ද නැතිවය. එකල අපට එය එතරම්ම සතුට දනවන්නක් විය.
පසුබිමෙන් ශ්‍රීපාද කන්ද සහිත සමන් දෙවියන්ගේ චිත්‍රය, හතර කොණ සිව්වරම් දෙවියන් සහිත කතරම දෙවියන්ගේ චිත්‍රය, සීවලි මහරහතන් වහන්සේ, විෂ්ණු දෙවියන්, රවුම් කන්නාඩි දමා ජාතික ඇඳුමෙන් සැරසුණු බණ්ඩාරනායක අගමැතිතුමා ගේ උඩුකය රූපය දුම් පයිප්පයක් අතින් ගත් ඩඩ්ලි සේනානායක අගමැතිතුමා, ඩී. එස්. සේනානායක අගමැතිතුමා ගේත් ඡායාරූප ආදිය එකල කැලැන්ඩර්වල බහුලව දක්නට ලැබුණු සිතුවම් ය.
අගමැතිවරුන් ගේ ඡායාරූප සහිත කැලැන්ඩරයක් අත්තලා ගේ ගෙදරට ගෙනාබවක් මගේ මතකයේ නැත.
දින තුන්සිය හැටපස් දවසටම එක කොළය බැගින් ඇති කැට කැලැන්ඩරයේ කොළ කැඩීමට අප අතර තරගයක් විය. “හෙට කොළය කඩන්නේ මම” යැයි එකිනෙකා දින වෙන්කර ගැනීම තුළින් උදෑසන අවදිවීමේ පුරුද්දක් ද අපට ඇතිවිය. මේ සියල්ල සිදුවන්නේ කැලැන්ඩරය ගෙනා අලුතය. කිරිඅත්තාට දිනයක් බලා ගැනීමට අවශ්‍ය වී කැලැන්ඩරය දෙස බැලූවිට දින ගණනකින් එහි කොළ කඩා නැතිබව පෙනී
“හනේ හනිච්චන් කෝ මේ කොළ කඩන්ඩ දබර කරගත් එවුන්” යැයි අප කෙරෙහි දක්වන ආදරය මුසු හැඟීමකින් කොළ හත අටක් කඩා බිම දමන අවස්ථා මා අනන්තවත් දැක ඇත. කිරිඅත්තාට කැලැන්ඩරය අවශ්‍ය වූ අවස්ථා බොහෝ අඩුය. ඒ ලිතෙහි ද දින දර්ශනයක් අඩංගු නිසාය. කිරිඅම්මාට කැලැන්ඩරය අවශ්‍ය වූ අවස්ථා නැති තරම්ය. එහෙත් කිරිඅම්මාත් ලිත ගැන මහත් උනන්දුවක් දැක්වූවාය. ලිත ගෙනා පසු එය ඇලවීමට කජු මැලියන් සොයා ගෙන එන සෙ අප දැනුවත් කරන්නේ කිරිඅම්මාය. පොහොය ලබන ගෙවන දින හා සිල්සමාදන් වියයුතු දවස් දැන ගැනීම කිරිඅම්මා ගේ ලිත බැලීමේ ප්‍රධාන අරමුණය. සෑම පසළොස්වක පොහොය දිනකම සිල්සමාදන් වූ කිරිඅම්මා ඉඳහිට අමාවක පොහොය හා අටවක පොහෝ දිනවලද සිල්සමාදන් වූවාය. පසළොස්වක පොහොය දිනක හැර වෙනත් පොහෝය දිනක සිල්සමාදන් වූයේ නම් ඒ ගමේ උපාසක අම්මලා කිහි දෙනෙක් සිල් සමාදන් වීම සඳහා එක්කාසු කරගත හැකි වූයේ නම් පමණි. පසළොස්වක පොහොය දිනය හැරුණුවිට වෙනත් පොහෝ දිනක සිල් සමාදන් වන්නේ නම් ඊට පෙර හාමුදුරුවන් දැනුවත් කිරීම කිරිඅම්මාගේ සිරිතය. ඒ පසළොස්වක පොහෝය හැරුණුවිට වෙනත් පොහෝය දිනවල සිල්සමාදන්වීමේ පුරුද්දක් ගම්මු අතර නොතිබූ නිසාය.
ගෙදර අයෙකු අසනීපව සිට සුවය ලබා දිය නෑමට අවශ්‍ය වූ විට සුදුසු දිනයක් බැලීමට, වී තැම්බීමට, ගෙයි ගොම මැටි ගෑම සහ තවත් නොයෙක් දේ වෙනුවෙන් ද කිරි අම්මා ලිත බැලුවාය.
දිනය සුදුසු වුවද නුසුදුසු වුවද පේරු දානය දිනයට පෙර දින ලිපේ අලුතින් ගොම මැටි ගෑම කිරි අම්මා ගේ සිරිතය.
ඒ සඳහා සුදුසු දිනයක් බැලීම අනිවාර්යෙන්ම සිදුවන්නකි.
“හෙටත් හොඳ දවසක්” යැයි ලිත බලා කිරිඅත්තාට ඇසෙන්නට කිරිඅම්මා කිවූ පසු “අද යහමින් තණකොළ කූඩ පුරවාගෙන එන්ඩ වෙයි” යනුවෙන් කිරිඅත්තා මා දෙස බලා කියන විට කිරිඅම්මා කියා ඇත්තේ ගෙයි ගොම මැටි ගෑමට හෙට හොඳ දිනයක් බව මට ද තේරුම් ගියේය.
මී හරකුන්ගෙන් වැඩිපුර ගොම ලබා ගැනීමට නම් වැඩිපුර තණකොළ කෑමට දිය යුතු බව කිරිඅත්තා කිහිප අවස්ථාවකම අපට කියා දී ඇත.
වී තැම්බීම, ගොම මැටි ගෑම, ඇඹුල ඉවීම ආදි තරමක් බාරදූර කාර්යයන් වලදි සැවොම එකතු වී වැඩකරති. ඉඳහිට නොක්කාඩු ද වෙති. අද කිරිඅත්තා බිස්සෙන් වී බා විට කිරිඅම්මා හෙට වී තම්බන බවත්, හරක් දෙතුන් බානක හීයකට මා විසින් දොඩම්පනා, ඇට්ටේරියා වැනි කෝටු කපා අඩුම කුඩුම සූදානම් කරනවිට හී කයියට හතර පස් දෙනෙක් වෙනුවෙන් මහගෙදර බතක් ඉදෙන බවත් බාල නැන්දා අම්මා හා අනිකුත් සෙස්සෝ දැනගනිති. බිස්සෙන් වී බෑමටත් සුදුසු දිනයක් විය. යල් හෝ මාස් කන්නයේ වී බිස්සට අඩු කළේ ඉතාම සුදුසු දිනයකය. වී වේලා ගැනීමට අව්වෙන් වැස්සෙන් සිදුවන බාධා වළක්වා ගැනීම සඳහා කිරිඅම්මා වී තැම්බීමට සුදුසු දිනයක් බැලුවේද ලිතෙනි. හීය බින්නැගුමක් නම් ඊට සුදුසුම දිනය තෝරා ගැනීම කිරිඅත්තාගේ සිරිතය. ගෙදර හාල් නෑඹිලි දෙක තුනක බතක් උයන්නට වූ අවස්ථාවල කිරි අම්මා ද ලිත බලනු මා දැක ඇත.
“අත ඉක්මන් කරපල්ලා” හාල් ගරන අම්මාට හෝ බාල නැන්දාට කිරිඅම්මා කිවූ අවස්ථාත් “බත ලිප තියන්ඩ හේලන්කඩ පිල් පියට එනකම්වත් ඉදපල්ලා” යනුවෙන් තවත් අවස්ථාවල කියනු මා අසා ඇත. කිරිඅම්මා ගේ ඒ අණ කිරීම් හෝ දැනුම් දීම් රාහු කාලයට පෙර හෝ රාහු කාලය මඟ හරවා ගත් ලිප තැබිය යුතු අවස්ථා වලදීය.
එවැනි අවස්ථාවක සුළු හෝ අත්වැරැද්දක් වූ විට සැමට දොස් නගමින් කිරිඅම්මා ලිපට වඳින අවස්ථා මා දැක ඇත. එයින් ලද ආභාසයෙන් හෝ අම්මා ද බත ලිප තබා ලිපට වඳින පුරුද්දක් අදටත් සිදුකරති.
කිරිඅම්මා හෝ කිරිඅත්තා ජ්‍යෝතිෂ්‍ය පිළිබඳ දැනුමක් තිබූ අය නොවේ. එහෙත් අව් වැසි, සුළං බීරුම් පිළිබඳව නිරතුරු අවධියෙන් සිටීමට වග බලා ගත්හ. අලුත් කන්නයේ කුඹුරු වැඩ ආරඹීමට වක්කඩවල් හරස් කිරීමේ සිට බිම් නැගුම, නියර කෙටීම, වැපිරීම, රැකබලා ගැනීම, කරල් ගෙට ගැනීම, කමත් සකස් කිරීම, අලුහම් වැඩීම, මැඩවීම, බැත ගෙට ගැනීම,
දෙවියන් පංගු වෙන් කිරීම, අලුත් බත් දානය පන්සලට වැඩම කිරීම දක්වා තවත් බොහෝ කටයුතු සිදු කළේ සිරිතට විරිතට අනුව සුදුසු කල්යල් බලා ය.
රිට්ටා ලබන ගෙවන වේලාවල්, රාහු කාලය, සුභ දවස්, හඳ මෝරන දින ආදිය බැලීමෙන් මේ කටයුතු සිදුකල බව මා දැන සිටියේ මේ සෑම දෙයක්ම සිදුවීමට, සිදු කිරීමට පෙර කිරිඅත්තා ලිත බැලූ නිසාය. අද හවහා වර්ෂාව එන්ඩ ඉඩ තියෙනවා යැයි කිරිඅත්තා පැවසුවහොත් බොහෝවිට එදිනට වහිනවාමය කිරිඅත්තාගේ මේ අනාවැකි අප සියලු දෙනාත් ගම්මුත් තදින්ම විශ්වාස කළේය.
මහගෙදර කවදා හෝ දිනක තාත්තාට හා අපට ලැබෙන නිසා අපි මහගෙදර ඉඩමේම කටුමැටි ගැසූ ගෙයක ජීවත් වුවද බොහෝ අවස්ථාවල එම ගෙයි සිටියේ අම්මා සහ තාත්තා පමණි. අපි සෑම වේලාවකම සිටියේ අත්තලාගේ ගෙදරය. තාත්තා ද බොහෝ රෑ බෝ වනතුරුම මහගෙදර රැඳී සිටීම සිරිතය. එහෙත් තාත්තා සහ කිරිඅත්තා අතර කථාබහක් ඇති වූයේ බොහෝ කලාතුරකිනි.
“ජලවක පහුකරලාම වපුරනවා හොඳයි, මාසේ පෝය ගෙවෙන කොට වහින්ඩත් ඉඩ තියෙනවා” ආදි කෙටි නිවේදන අත්තාගේ මුවින් පිටවුවද තාත්තා ඊට හූ මිටි හෝ නොතබති. කිවු දේ සැක හැර දැනගැනීම සඳහා තාත්තා ද ලිත ගෙන බලන අවස්ථා මා දැක ඇත. තාත්තා ද ලිත බලා වැඩ කිරීම ගැන කිරිඅත්තා මහත්සේ සතුටු වූහ.
“පුතේ ඔය ලිත අරන් දීපන්කෝ උඹලාගේ තාත්තාට” යැයි කියමින් කිරිඅත්තා මා ලවා තාත්තා අතට බිත්ති ලිත අරන් දුන්නේ ගොවිතැන් කටයුතු ගැන සාකච්ඡා කිරීම් වෙනුවටය.
මහගෙදර ඉදිරිපිට දෙවට දිගේ බොහෝ රෑ බෝ වී අඳුරේම ගමන් කර ගම්මුන්ගේ හඬ ඇසී “අද පෑලවිය එළියක් අරන් පලයල්ලා” කියන අවස්ථා එමටය.
හොඳා හොඳා යැයි කියමින් ඇතමුන් අඳුරේම ගමන් ගත්තද කිරිඅත්තා ගේ කීම නිසාම ඇතමුන් කිරි අම්මාගේ හුළු එළියක් ඉල්ලා ගෙන ගිය අවස්ථා ඇත.
“මම කිවුවා එළියක් අරන් පලයව් කියලා”. ඇතමුන්ට සර්පයන් දෂ්ඨ කිරීම නිසා රාත්‍රියේම සර්ප වෙදා ළඟට රැගෙන යන අවස්ථාවලදි දොස් නගමින් කථා කළ අවස්ථා එමට ඇත. අහවල් ඖෂධය අතන ඇත මෙතන ඇත යනුවෙන් ගම්මුන් දැනුවත් කිරීමට ද අත්තා වගබලා ගනිති. කුණකටුවකු, මාපිලකු, දෂ්ඨ කළවිට බොහෝවිට භාවිත කරන ඖෂධ පිළිබඳ දැනුමක් කිරිඅත්තාට ද තිබිණ. සුළු වෙදකමකට අවශ්‍ය දෙහි දළු, කුඹුරු දළු, රසකිඳ, රස්සඳ, බැබිල, කලාඳුරු ආදි නොයෙක් ඖෂධ වර්ග මහගෙදර වත්තේ තිබූ අතර ඒවා ඇති තැන් කීමට කිරිඅත්තාට සහ කිරිඅම්මාට මතකයක් තිබිණ.
“හෙට හීයට මී වස්සාව කරවිය තියන්න හිතාගෙන ඉන්නවා හොඳ හිටී ද මාමේ” යනුවෙන් දිනක් ගෙට ගොඩ වූ පීතර මාමා කිරිඅත්තාගෙන් ඇසීය. බිත්තියේ එල්ලා තිබූ ලිත දෝතින්ම ගත් කිරිඅත්තා ඒ දෙස මඳක් විමසිල්ලෙන් බලා “තව දෙදොහක් ඉවසන්න පුලුවන් නම් ඔන්න සිකුරාදා හොඳ දවසක” යනුවෙන් කිරිඅත්තා කිවු පසු “දෙහියනේ දෙදොහක් ඉවසන්න බැරි මොකෝ” යනුවෙන් කී පීතර මාමා ඉලත්තට්ටුවේ තිබූ බුලත් කොළයක් ගෙන මාමාත් එමුකෝ එදාට වෙල පැත්තට යනුවෙන් කියමුන් බුලත් කොළය දෑතින්ම දෙමින් කරවිය මඟුලට ආරාධනා කර සිටියේය. බුලත් කොළය අතට ගැනීමට පෙර ප්‍රවේශමෙන් ලිත යළිත් බිත්තියේ එල්ලා බුලත් කොළය දෑතින්ම ගෙන යළිත් වතාවක් ලිත දෙස විමසිල්ලෙන් බලා “නවය පහු වෙන්න නොදී විය තිබ්බා නම් තමා හොඳ කහ වතුර ටිකක් එහෙම වහු පැටියාගේ කරේ ගාන්න ලෑස්ති කරපන්කෝ” යනුවෙන් ආරාධනාව බාරගත් බවට ඉඟි කළේය.
නෑඹුල් හරකෙකු කරවිය තබන විට ඒ සඳහා දෙහියම තෝරා ගන්නා ලෙස කිරිඅත්තා උපෙදස් දෙන්නේ කෝඩුකාර හරකාට පහුසුවන පිණිස බව මා දැනගත්තේ පසු කලකය.
ගොවිතැන් බත්, ඇඹුල් මඟුල් හා වෙනත් ඕනෑ එපාකම් ගුරුහරුකමක් ලබාගන්න, ගම්මු කිරිඅත්තා මුණගැසීම කිරිඅත්තාට දක්වන ගෞරවයක් ලෙස කිරි අත්තා සැලකීය. එවැනි අවස්ථාවල කිරිඅත්තාගේ දැනකියා ගැනීම් වලට බිත්ති ලිතෙන් ලැබෙන අනුග්‍රහය විශාල එකක් බැවින් ලිත නිරතුරු සැමගේ ගෞරවය ලබන ලියවිල්ලක් විය.
දිනක් තාත්තා අඩිය ඉක්මන් කරමින් මහගෙදර දෙසට පැමිණියේය. කිරිඅත්තා ද ඔහුගේ ඉක්මන් ගමන ගැන විමසිලිමත් විය. ස්තෝප්පුවේ කෙළවරක දමා තිබූ පැළවී යහන අසලට ගිය තාත්තා එය වසා තිබූ හබරළ කොළය ඉවත් කරමින් කණු කැපුනු පැළ වී අහුරක් අතට ගෙන” මේවා ඔය කියන ගානට කණු කැපිලා තියෙන්නේ අලුත් වී තවානක් දාන් යනවා ගොවිකාරක සභාවෙන්” කිරිඅත්තාට ද ඇසෙන්නට කියමින් ඉරාගත් හබරළ කොළ කැබැල්ලක පැළ වී අහුර ඔතාගෙන ඉක්මන් ගමනින් පිටව ගියේය.
බොහෝ රෑ බෝ වෙනතුරු එදින කිරිඅත්තාත් කිරිඅම්මාත් පිල මත එකට වාඩි වී කථාබස් කරනු මා දැක්කේ කලකට පසුවය. ගොවි කාරක සභාවෙන් හඳුන්වාදෙන අලුත් ෙගාඩ වී තවාන දැමීමට කිරිඅත්තලාගේ ගෙදර ස්තෝප්පුව තෝරාගෙන තිබීම ගැන කිරිඅත්තාත්, කිරිඅම්මාත් කථාබස් කළහ. ගොවිකාරක සභාවෙන් හඳුනා දුන් ඇතැම් ගොවිතැන් ක්‍රම ගැන කිරිඅත්තාගේ එතරම් පැහැදීමක් නොතිබිණ. ඒ එක් වතාවක අවුරුද්දට කන්න තුනක් වැඩ කිරීමට ගත් උත්සහායක දී එය අසාර්ථක වීම හේතුවෙනි. අලුත් තවාන දැමීමට මහගෙදර තෝරාගැනීම ගැන විරුද්ධත්වයක් නොතිබ්බේ කරුණු කිහිපයක් නිසාය. පොළවට සිමෙන්ති දැමූ ඉඩකඩ ඇති ස්තෝප්පුවක් තිබුණේ ගමෙන්ම කිරිඅත්තලාගේ ගෙදර පමණි. ගමට තිබුණු උළු සෙවිලි කළ එකම ගෙදර ද මහගෙදර පමණි.
ඒ පිළිබඳ සිත්හි ඇති සියුම් ආඩම්බරකමකුත්, ගොවිකාරක සභාව හා සම්බන්ධ වී තාත්තා කටයුතු කිරීම ගැන දෙමහල්ලන් තුළ තිබූ සියුම් සතුටක් ඒ අතර විය. පසුදින මා අවදිවන විට තාත්තා පැළවී යහන කඩා දෝතින්ම කැදලි වෙන්වන ලෙස අතගාමින් සිටියේය. කිරිඅත්තා ලණු ඇඳ මත වාඩිවී ඒ දෙස බලා සිටියේය. “පුතේ කිරිඅත්තාගේ ඇඳේ තිබෙන දේවල් අස් කරපන්කෝ අපි ඒක එළියට ගන්ඩ” අලුත් වී තවාන දැමීමට ඉස්තෝප්පුව අවශ්‍ය වන නිසා කිරිඅත්තා ගේ ඇඳ ස්තෝප්පුවෙන් ඉවත් කළ යුතු බව කිරිඅත්තාට ඇසෙන්නට මට කීවේ කිරිඅත්තාට එක එල්ලේ කථාකරන පුරුද්දක් තාත්තාට නොතිබුණු නිසාය.
ඒ කිරිඅත්තාට දක්වන ගෞරවයකි. ඇඳ අස්පස් කළේ කිරිඅත්තාය. එය එළියට ගැනීමට මා තාත්තාට උදව් කළේය. ගොවිකාරක සභාව අලුතෙන් හඳුන්වා දුන් වී වර්ග, එළවළ ඇට වර්ග මුලින්ම ගෙනාවේ අපේ ගෙදරටය. මා වී, රත්ඇල්, සුවදඇල්, මාඇල් ආදි වී වර්ග වෙනුවට කෙටි කලකින් අස්වනු නෙළාගත හැකි එච් හතර, බීජි තිස්හතර, බීජි තිස්අට වැනි වී වර්ග අත්හදා බැලීම් කළේ අපේ කුඹුරුවලය.
කිරිඅත්තා ඒවාට ඉතා ඕනෑකමින් ඉඩකඩ සලස්වා දුන්නේ අලුත් වී වර්ග හොඳ හෝ නරක ඒවා කියා දැන ගැනීමට නොව තාත්තා ගොවිකාරක සභාව වැනි සංවිධානවලට සම්බන්ධ වී කටයුතු කිරීම පිළිබඳව ඇති සතුටිනි.
ස්තෝප්පුව පුරා එලන ලද ඉටිරෙදි මත පැළවී දමමින් ඉතා අලංකාරව තවාන සකස් කරන ආකාරය දැක බලා ගැනීමට ගමේම අය මහගෙදරට පැමිණියහ. “හැමෝම හොඳින් බලාගන්න” යනුවෙන් තවාන සකස් කරමින් සිටි නිලධාරියා කිවූ කථාවට යළි උනන්දු වෙමින් කසු කුසුව නවතා සියලු දෙනාම ඒ දෙස බැලීය.
“අපි වගේ හොඳ දවස් බැලුවෙත් නැහැ. වෙලාවල් බැලුවෙත් නැහැ. ආවා තවාන දැම්මා ගියා.” තවාන දමා අවසන් වී සියලු දෙනාම පිටව ගිය පසු තාත්තා කිරිඅත්තාට සහ කිරිඅම්මාට ඇසෙන පරිදි තමාටම කියා ගත්තේ දෙමහල්ලන් ගෙන් සමාව අයදින ස්වරූපයෙනි. කිරිඅත්තා වැපිරිල්ලකට හෝ තවාන දැමීමට බිත්තර වී සකස් කරන්නේ විවිධ වතාවත් කරමිනි. ඒවාට හරි හරියට කිරිඅම්මා ද දායක වෙ ති. වී දියේ දැමීම හා පැළවී යහන සැකසීම ආදි බොහෝ කටයුතු කෙරෙන්නේ කිරිඅම්මා අතිනි. සකස් කල පැල වී කුඹුරට ගෙන යන්නේ කුරනිය සුදු රෙදි කඩකින් වසාගෙන හිසමත තබාගෙනය. එයද බොහෝවිට සිදුවන්නේ කිරිඅම්මා අතිනි. වී වැපිරිල්ල හැමෝටම කළ හැක්කක් නොවේ. කිරිඅත්තා ඒ සඳහා නම් දැරූ අයෙකි.
වැපිරීමට පෙර කිරිඅත්තා පළමුවෙන්ම තුණුරුවන් වන්දනා කර නැගෙනහිර බලා හිරුට ද වන්දනා කරති. මුල් වී අහුර වැපිරීමට පෙර කිරිඅත්තක් හෝ හබරල පැළයක් වක්කඩ මුල සිටුවන්නේ අස්වැන්න වැඩිවීම හා භවබෝග ආරක්සා කරගැනීමේ කෙම් ක්‍රමයක් ලෙසය.
තවාන ඉවත්කර ස්තෝප්පුව හිස් වී දින කිහිපයක් ගත වුවද කිරිඅත්තා යළි ස්තෝපුවේ පදිංචියට නො ආවේය. තවාන දැමූදා හැන්දෑෙව් තාත්තා හා මා විසින් කිරිඅත්තාගේ ඇඳ කුස්සිය පැත්තේ ස්තෝප්පුවට අල්ලාදීමෙන් පසු එහි පදිංචි වූයේ ස්තෝප්පුව තාත්තාට බාර කරන අදිටනින් විය හැක. කුස්සියට යාව ඇති දිග ඉස්තෝප්පුව ගෙදරට එන බවලත් උදවිය නිතර ගැවසෙන ස්ථානය විය.
තාත්තා, අම්මා සහ අපි මහගෙදර පදිංචියට පැමිණීම ගැන කිරිඅත්තා බොහෝ සතුටු විය. “අහවල් එහෙකට ද ඕකට ආයේ අතු සෙවිල්ලනේ මෙන්න මෙහාට එන්ඩ කියාපල්ලා” යනුවෙන් දිනක් කිරිඅත්තා කිරිඅම්මාට කීවේ දියේ දැමූ පොල්අතු මිටියක් අම්මා අමාරුවෙන් හිස තබාගෙන එනු දැකීමෙනි. අපේ ගෙට පොල් අතු සෙවිල්ලන සෑම දිනම මුල්ම පොල්අත්ත වහලයේ ගැට ගැසුවේ කිරිඅත්තා විසින් සුබ කටයුත්තක් ලෙසිනි. එහෙත් ඒ වතාවේ අපේ ගෙදර අතු සෙවිල්ලට කිරිඅත්තා නො ආවේ ඉක්මනින්ම තාත්තාට අම්මාට සහ අපිට මහගෙදර පදිංචියට එන ලෙස කරන ඇඟවීමක් ලෙසටය.
මේ සිංහල අලුත් අවුරුද්දේ මා මහගෙදරට ගියේ අපේ ගෙදර අවුරුදු චාරිත්‍ර අවසන් කිරීමෙන් පසුවය. සෑම සිංහල අවුරුද්දකම තෙල් ඇඹුල් ගා අවසන් වනතුරුම අපි මහගෙදර රැඳී සිටින්නෙමු. ඒ මගේ දරුවන් මල්ලීගේ දරුවන් සමඟ කෙළි සෙල්ලම් කරමින් කාලය ගත කරන්නට කැමති නිසාත් අම්මා සහ තාත්තා සමඟ ගැවසෙමින් කාලය ගත කිරීමෙන් මට ද යම් මානසික සහනයක් ලැබෙන නිසාත්ය.
අතීතයේ මේ ගම් ගෙවල් සියලු ජන ජීවිතයන් පවත්වා ගෙන යාමට, හැඩ ගැස්වීමට උපකාරී වූ මහසන්නිවේදන ලියවිල්ල, බිත්ති ලිත තවමත් තිබුනු තැනම ඔහේ එල්ලෙමින් තිබිණ. එය දුර්වර්නය මගේ සිත ගෙවුණු ළමා හා යෞවන කාලයට රැගෙන යාමේ හැකියාව ඒ මත සටහන්ව තිබූ නිසාම මා ඒ වෙත යැවුනේ ඉබේටමය. කිරිඅත්තා කුස්සියේ පැත්තේ පදිංචියට ගියේ තවාන ඉස්තෝපුවේ දැමූ දිනයේය.
එකල රට පුරා කෘෂිකර්මාන්තයේ පිබිදීමක් ඇති විය. වගා සංග්‍රාමය නමින් නව සංකල්පක් හඳුන්වා දෙමින් සිරිමා බණ්ඩාරනායක මැතිනිය එදාගෙන ගිය ව්‍යාපාරයට ගම් මට්ටමින් අත හිත දෙමින් කටයුතු කළ අය අතර තාත්තා ද ප්‍රධාන සාමාජිකයකු විය. ඒ නව පිබිදීමට තාත්තලාගේ අවනත වීම කිරිඅත්තා ද සතුටින් පිළිගත්තේ කිරිඅත්තලාගේ ජීවිතවලට නොලැබුණු ජීවයක් මෙන්ම ජවයක් තාත්තලාගේ ජීවිතවලට ලැබුණු නිසාය. කෘෂිකර්මාන්තය මුල් කරගනිමින් රට තුළ ඇති වූ නව සමාජ පරිසරය ඈත ගම් ගෙවල්වල ද යම් යම් වෙනස්කම් ඇති කළේය.
එකල රජයට පවරාගත් ඉඩම්වල අලුතින් ඇතිකළ ගොවි ජනාවාසවල සේවයට ගිය අයකු ලෙස මට ද යම් පිළිගැනීමක් ගම තුළ තිබිණි. තරුණ තරුණියන් එකට එකතු වී හරි හරියට ගොවිජන ව්‍යාපාරවල යෙදීම පිළිබඳව කිරිඅත්තලාගේ පැහැදීමක් නොතිබුණ ද ඒවාට ඉඩහැර අනුබල දෙමින් කටයුතු කළේ චේ ගුවේරා නමින් හඳුන්වා ගත් හැත්තෑ එකේ තරුණ කැරැල්ල වැනි සංවිධානවලට අප එකතු නොවූ නිසාත්ය. මා දිග කලිසමක් ඇඳ බයිසිකලයෙන් වැඩට යන එන එක දැකීම ගෙදර සැවොම ප්‍රිය කළෝය.
සාම්ප්‍රදායික කුල සිරිත් බැහැර කිරීමත් නව සංකල්ප වැළඳ ගැනීමත් නිසා ඇති වූ යහපත් හෝ අයහපත් ප්‍රතිඵල වලින් හෙම්බත්ව බලාපාරොත්තු රහිතව මරණය ගැන සිහින දකිමින් තාත්තා අප ඉදිරියේ සොම්නස් මුහුණක් මවා පෑවා ද එහි පිරි ඇත්තේ දොම්නසක් බව පෙනේ. මුහුණ පුරා වැවී ඇති තැන තැන පැසුණු සුදු රැවුල් ගස් එය වඩාත් තීව්‍ර කර තිබේ.
මට ඉබේටම තාත්තා දෙස බැලිනි. තාත්තා ද එක එල්ලේම මා දෙස බලා සිටිනු දුටු මා යළිත් ලිත දෙස බැලීය. තාත්තා ද හිමින් සැරේ මා අසලට විත් ලිත දෙස බැලීය. “මෙදා තෙල් ඇඹුල් ගාන්නේ කවදා ද කීයට දැයි” තාත්තා ඇසීය. තෙල් ඇඹුල් ගාන දිනය දැන ගැනීමට වඩා අපි තව කී දවසක් මහගෙදර රැඳී සිටිනු ඇති දැයි ගැන ගැනීමට තාත්තාට අවැසි බව ඔහුගේ කථාවෙන් මට වැටහිණි. තාත්තා කිවූ නිසාම තෙල් ඇඹුල් ගාන දිනය සහ වේලාව මට ද දැන ගැනීමට අවශ්‍ය විය. මා ලිතෙහි සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර දෙස බැලීය. එහි දිනේ සහ වේලාවන්වල යම් නොගැළපීමක් ඇති නිසා ලිත කෙරෙහි මගේ අවධානය වැඩි විය. එය දැනට අවුරුදු කීපයකට පෙර ඇලවූ ලිතකි. “මේක පරණ ලිතක්” මට කියවිණි.
“ඇත්ත ද” යනුවෙන් දිග සුසුමක් හෙළමින් ඉවත්ව යන තාත්තා දෙස බලා සිටි අම්මා හැමෝගේම වැරදි තමන් බාර ගන්නා කිරිඅම්මාගේ සිරිත සිහි ගන්වමින් අලුත් ලිතක් ගෙදරට නොගෙන ඒමේ වරද තමා අත බාර ගනිමින් “දැන් ඔය තෙල් ඇඹුල් ගාන සිරිතක් ගම්වල ඇත්තේ නැහැනේ” යැයි කීවාය.
විජිත රත්නසේන
සිළුමිණ සත්මඩල
සපතේරුවාගේ මරණය (කෙටි කතාව)
නාලනී තෙන්නකෝන්
සිළුමිණ සත්මඩල
“උමා මැරිලා....”
“සපත්තු මහන....?”
“හ්ම්....”
“මොනවා වෙලා ද?”
“පපුවෙ අමාරුවක්.”
“බලන්න ගියා ද?”
“ටවුමෙ කඩපේළි වහල හැමෝම ගියා... එළවළු බක්කිය වහදාල මාත් ගියා...” වෙනදාට වඩා ප්‍රමාද වී ගෙදර පැමිණි අප්පච්චි සහ ඔහු එනතුරු මඟ බලමින් සිටි අම්මා ද අතර සිදුවූ කතා බහට කාමරයේ ලිපිගොනුවක් සකසමින් සිටි මම ඉතා වුවමනාවෙන් සවන් දෙමින් සිටියෙමි. ගම්පොළ ටවුමේ කවුරුත් දන්නා හඳුනන සපතේරුවාගේ මරණය ඔවුන් කෙරෙහි ද යම් තරමක ශෝකී හැඟීමක් හෝ අනියතය පිළිබඳ දැනීමක් ඇති කළා විය හැකිය. එහෙත් එම පුවත අසා සිටි මසිතෙහි ඇති වූ කැලඹීම නම් සුළුපටු නොවීය. එය වචනයෙන් පැවසීමට නොහැකි මය.
මා ඉස්ෙතා්ප්පුවට පැමිණියේ තත්පරයකිනි.
“උමා මැරිල ද.... අප්පච්චි?”
“ඔව් පුතේ.”
“හරි වැඩේ මං දැං මොකද.... කරන්නේ?” උමාගේ මරණය ඇසීමෙන් මා කෙරෙහි ජනිත වූ කැලඹීම ඔවුනට ප්‍රශ්නාර්ථයක් විණැයි මට ද සිතුණි.
“ඇයි පුතේ මොකද....?” අප්පච්චි විමසුවේ විමතියෙන් මෙනි.
“කිව්වත් වගේ... උමාගෙ මරණෙ පුතාට මේ තරමට දැනෙන්නේ...? අම්මා... සැකනේ යුතුව විමසුවාය.
“අර මං කිව්ව ‘ඉන්ටර්විව්’ එක හෙට උදේනෙ තියෙන්නෙ අම්මා...”
“ඉතින්?”
“මං සපත්තු කුට්ටම මහන්න උමාට දුන්න. ඒක හොඳටම ගැලවිලා. අද දවල් අව්වෙ තියල පිහදාන්න ගත්තමයි දැක්කෙ. වැඩ වැඩි නිසා උමාට ඒක හදන්න බෑ කිව්වා... උමා කීවෙ හෙට උදේ හතට එන්න කියලා... මං හෙට හත හමාර කෝච්චියෙ කොළඹ යන්නත් ඕනෑ...”
“එහෙම ද? දැන් මොකද කරන්නේ... පුතා මට ඒක දුන්නනං මං වෙන තැනකින් හරි හදාන එනවනේ...” අප්පච්චි එසේ කියමින් සුසුමක් පිට කළේ මා නිසා හටගත් හිත රිදුම් දුන් දෝමනස්ස හැඟීමෙන් විය යුතුය.
ම විසින් වාණිජ විද්‍යා උපාධිය ලබා ගැනීම තෙක් තාත්තා ද අම්මා ද මම ද දුක් කන්දරාවක් විඳ ඇත්තෙමු. අතමිට නිසරු වීම නිසා මගේ ජයග්‍රහණ වලින් බොහෝ අවස්ථාවන්හි ඔවුන් කෙරෙහි හටගත් අසීමිත සතුට වින්දනයකින් තොරව අහෝසි වූ වාර අනන්තය. රැකියා විරහිත උපාධිධාරියකු ලෙසින් සිටි මට නගරයේ කඩ කිහිපයක ගණන් හිලවු සකසා දීමෙන් ලැබිය හැකි වූයේ සුළු මුදලකි. විවිධ රැකියා සඳහා අයදුම් කළ ද මේ වනතුරු කිසිදු පත්වීමක් නොලදමි. ප්‍රසිද්ධ ඖෂධ වෙළෙඳ සමාගමක වෙළෙඳ සහායකයකු ලෙස සේවය කිරීමට මා අයදුම් කළේ උපාධිය සඟවමින් උසස්පෙළ ප්‍රතිඵල පමණක් දැක්වීමෙන්ය. වෙනත් රැකියාවක් ලැබෙනතුරු මෙයින් ප්‍රමාණවත් ආදායමක් ලැබේයැයි මා තුළ විශ්වාසයක් පවතියි. එබැවින් හෙට මේ ගමන මා යා යුතුමය.
“පුතේ අර එහෙ මෙහෙ යනකොට දාන පටි සපත්තු දෙක හෝදල ගන්න බැරිද?” අම්මා එසේ පවසන්නේ අවබෝධයකින් තොරවය.
“එහෙම බෑ... අම්මෙ මේක බෙහෙත් ගෙන්වන ආයතනයක්...! මේ රස්සාවට කලිසම, කමිසෙ, ටයිඑක, සපත්තු මේස් බොහොම පිළිවෙළකට තියෙන්න ඕනැ....”
“පුතේ.... ජයනාථ මහත්තලැ ගෙදර අකලංක පුතා ගෙන්නං සපත්තු දෙකක් ඉල්ල ගන්න පුළුවන්.... නොදී ඉන්නෙකක් නෑ.... අර..... ඉස්තෝප්පුවට ගොඩවෙන තැනම රාක්කයක් පුරෝල වෛවාරන්න සපත්තු...” අම්මාගේ යෝජනාව අසා සිටි මට මගේ සිතුවිලි පාලනය කරගන්නට නොහැකි තරමේ ආවේගයක් මතුවිණ.
“අම්මට පිස්සුද.... මට ඔය එක එකා ගෙන් හිඟන්න බැහැ... එහෙම අරුන්ට මුන්ට බාල්දු වෙනවට වැඩිය හොඳයි අර.... හන්දිය ළඟ කුණු කන්ද අවුස්සල හිඟන්නෙක් විසිකරපු සපත්තු දෙකක් හොයා ගන්න එක...” මා මේ වචන පිටකළේ දැඩි නොරිස්සුම් හඬකිනි.
“ඇත්තටම උඹලට විකාරද... එහෙම කළොත් පුතාගෙ තත්වෙ මොකක් ද....?” තාත්තා අම්මාට එසේ කිවේ මගේ කටහඬ පාලනය කිරීමටය.
“මං රස්සාවක් හොයන්නෙ මේ හිඟනකම නැති කරගන්න. ඔය දෙන්නට නිදහසේ හුස්ම ගන්න ඉඩ හසරක් හදල දෙන්න. කොන්ද කෙළින් තියල දෙපයින් හිටගන්න.... ඒක තේරුම් ගන්න අම්මේ.” මම තරමක් සන්සුන් වෙමින් පැවසුවෙමි. මා කලින් කළ ප්‍රකාශය නිසා ඔවුන් තුළ අනියත බියක් සිත්තැවුලක් හෝ දුකක් ඇති වූ බැව් නිහඬතාවෙන්ම පැහැදිලි ය.
තමන්ගේ පවුලේ අය සුවපත් කරගන්නට නොහැකිවීම ගැන අප්පච්චි දුක් වෙයි. කරන ලද යෝජනාව දුරදිග නොබලා ප්‍රකාශ කිරීම ගැන අම්මා පසුතැවෙනවා විය හැකිය. මගේ වචනවල රළු ගතිය වැඩියයි මට ද සිතිණි. අප තිදෙනා ම අපගේ සිතුවිලි අතර තෙරපෙමින් සිටිය දී ඔරලෝසුව ‘ටික් ටික්’ හඬින් මනස නිරවුල් කරගැනීමට වේලාව සපයමින් සිටී.
“බාගදා.... උමා සපත්තු දෙක හදල අහවර කරලත් ඇති, පුතේ...” අප්පච්චි නිහඬතාව බිඳිමින් අනුමාන අදහසක් ප්‍රකාශ කළේ මා අවදිකරවන්නට මෙනි. ඔහුගේ ස්වරය තුළ දයාව, සෙනෙහස මෙන් ම පරාජිත හැඟීමක් ද සැඟවී ඇත. මගේ ජීවිතයට ආලෝකයක් දීමට මේ දෙදෙනාම කෙතරම් කඩදාසි එළි දල්වන්නට ඇති ද?
“සමහර විට හදලත් ඇති අප්පච්චි” මගේ සන්සුන් විලාසයෙන් අම්මාත් තාත්තාත් මගේ ආවේගය පහවිණැයි සිතනවා ඇත. එසේ සිතීමෙන් මම සහනශීලී බවක් අත්විඳිමි.
“ඒත් හදලද කියල දැනගන්නෙ කොහොමද? දවස් ගානකට සපත්තු මඩුව අරින එකක් නෑ...” අප්පච්චි කියන දෙය සිදුවීම නිසැකය. හෙට දින කෙසේ හෝ මා යා යුතුය. මම මිදුලෙහි ගස් පඳුරු අතරට දෙනෙත් යවමින් කල්පනා කළෙමි. පෙළ ගැස්වීමට තරම් විකල්ප කිහිපයක් නැත. ඔරලෝසුවෙහි රාත්‍රී අට හඬ නඟයි. ක්ෂණිකව යමක් කළ යුතු බව මට හැඟෙයි.කාමරයට ගොස් කලිසමක් ද කමිසයක් ද හැඳගත් මම විදුලි පන්දම ද රැගෙන ආලින්දයට පැමිණියෙමි. අම්මා පෙනෙන්නට නැත.
“අප්පච්චි මං ටවුමට යනවා...”
“මාත් එන්නද... දැන් රෑ වෙලානේ....”
“එපා මං ඉක්මනට එන්නං”
“හොඳයි, පරෙස්සමෙන් පුතේ....” බස් නැවතුම් දෙකක පමණ දුර ඇවිද මම ටවුමට පැමිණියෙමි. කඩ සාප්පු සියල්ලම මෙන් වසා තිබිණි. විවෘතව තිබුණේ ලක්සිරි හෝටලය සහ තේ කඩ දෙකක් පමණි.
නගරයේ මහා චෙරිගස සෙවණෙහි වූ උමාගේ සපත්තු වැඩ නිවහනෙහි කවුරුන් හෝ සුදු කොඩියක් සවිකර තිබුණි. කුඩා දොර කවුළුව වසා ඇති බව දිටිමි.මම මනසින් කවුළුව විනිවිද කුටිය ඇතුළට පිවිසියෙමි. මැනවින් මසා නිම කර ඇති මගේ සපත්තු කුට්ටම මා එනතුරු බලා සිටින අයුරු මට මැවී පෙනෙණි. එය කෙසේ හෝ ලබාගත යුතු බව මසිත කොදුරනු දැනිණි. එහි වටා යමින් විවර කළ හැකි තැනක් වේදැයි විමසිලිමත් වීමි. කුඩා කුටියක් වුවද එය අනාරක්ෂිත නොවූවකි. මම දුම්රිය හරස් මාර්ගයෙන් දකුණට හැරී උමාගේ නිවහන ඇති ලයින් කාමරය දෙසට ගමන් කළෙමි. බස් නැවතුමක දුරින් එය පිහිටා තිබේ. ඈතට ඇසෙන ළතෝනි හඬ මට ඇසුණේ ශෝකී හැඟීමක ස්වරයක් නොව, මහා කන්කරච්චලයක් සේය. උමාගේ ලයින් කාමරය ඉදිරියේ කුඩා මිදුලෙහි කිහිප දෙනෙකු සිටිනු දිටිමි. මා එහි පිවිසෙත්ම ඔවුහු එකිනෙකා අයින් වෙමින් මට යාමට ඉඩ සලසා දුන්හ. මම මිනිසුන් අතරින් ගොස් දෙන අසල රැඳුණෙමි. උමා අතහැර ගිය නිසල සිරුර පටු ඇඳක නිසලව හිදිණි. ඔහුගේ බිරිඳ මාෂා හා තවත් ගැහැනු කිහිප දෙනෙක් ද හිස අත්බැඳ හඬා වැලපෙමින් සිටිති. මට අත්තම්මා කී කතාවක් සිහිපත් විය. උමාගේ පුතා ද මා ද ඉපදී ඇත්තේ එකම රෝහලක එකම දිනයක දීය. එදින රෝහලට යාමට පෙර අත්තම්මාගේ සෙරෙප්පුව කැඩී රෝහලට යා නොහැකිව සිටිය දී උමා ඔහුගේ බිරිය සහ දරුවා බැලීමට යන ගමන ද පමා කර ගනිමින් ඇගේ පාවහන් පිළිසකර කර දී ඇත. යළිත් රෝහලේ දී එක ළඟ ඇඳන් දෙකක සිටි අම්මාත් මාෂාත් බලන්නට ගිය අත්තම්මාත් උමාත් හමුවී හඳුනා ගෙන ඇත. මාෂා සිංහල මවකගේ දියණියක වීමත් දරුවාට උපතේදී ගැටලු කිහිපයක් තිබීමත් නිසා ඇතිවූ ප්‍රශ්න නිරාකරණය කරගැනීමට අත්තම්මා ද සහාය වී ඇත.
පියාගේ සිරුර දෙස බලා සිටින ක්‍රිෂ්ණ උස මහතින් මට වඩා තරමක් වැඩි පෙනුමකින් යුක්තය. ඔහු මා නොදුටු බැවින් මම ඔහු අසලට ගොස් “ක්‍රිෂ්ණ” යයි ඇමතීය. ඔහු මදෙස බලා යන්තමින් සිනාසුණි.
“ආ..... මහත්තයා.... මගේ අප්ප ගියා.... මං හිටිය නං තාත්තා ඉස්පිරිතාලෙට ගෙනියනවා...” ඔහු මට දෑත් එකතුකර වඳිමින් කීවේය.
“යමු මහත්තය ඉඳ ගන්න.” ඔහු ගෙදර තිබූ එකම පුටුව යයි සිතිය හැකි ලෑලි ගැසූ අසුනක් ගෙමිදුලෙහි කොනක තබා මදෙස බැලීය. මම වාඩි වීමි. ක්‍රිෂ්ණ පසෙකින් සිටිමින් කතාකළේ පියාගේ ගුණවරුනාවය. එම කතාබහෙන් කියැවුණේ පියපුතු බැඳීම සහ උමාගේ පිළිවෙළක් සහිත ජීවන රටාව පිළිබඳවය. අප දෙදෙනා එකම දිනක ඉපදුණු බැව්ද හේ දැන සිටියේය. කතාකරන අතරෙහි මම මගේ වුවමනාව මතුකර ගතිමි.
“මං අද දවාලෙ තාත්තට මගේ සපත්තු දෙක මහන්න දුන්නා...”
“මහත්තය සපත්තු ආපහු ගත්ත ද?”
“නැහැ..... හෙට උදේ හතට එන්න කීවා... අද හුඟක් වැඩ වැඩියි කියල.... මං හෙට උදේම කොළඹ යන්නත් ඕනැ....”
“තාත්තා ඒක හදල ඇති...”
“මට දැන් ඒක ගන්න බැරිවෙයිද ක්‍රිෂ්ණ...?” මුවෙන් පිටවුවද එය මා නොකළ යුතු ඉල්ලීමක් යයි මට හැඟිණි. එහෙත් මගේ මේ වුවමනාවට ප්‍රමුඛත්වය දිය යුතුයයි සිතමින් මම නිවරැදි වීමට තැත් කළෙමි.
“ගිහින්ම බලමු... මහත්තයා. මං යතුර අරන් එන්නං....” ඔහු යතුර ගෙන ආවේය. එතැන සිටි අයෙකුට දමිළ බසින් යමක් පැවසූ ක්‍රිෂ්ණ මට පසුපසින් සිටිමින් විදුලි පන්දම දැල්වීය. අප උමාගේ සපත්තු මහන කුටිය අසලට පැමිණෙන විට ද රාත්‍රී නවයට ආසන්න විය.ක්‍රිෂ්ණ කුඩා දොර කවුළුව විවර කළේය. ආසන්න පහන් කණුවේ විදුලි එළිය එතුළට විහිදිණි. ආලෝකය ප්‍රමාණවත් නොවූ බැවින් ක්‍රිෂ්ණ කුඩා ලී කෑල්ලක සවිකර තිබූ ලොකු ලොකු ඉටිපන්දම දැල්වීය. කුඩා පෙට්ටි කාමරය සිසාරා මගේ දෑස් දිව යනු මට දැනිණි.සැබැවින්ම මේ කුටිය කියවිය යුතු ‘පොතක්’ යයි ද උමාගේ ජීවිතය “කවියක්” යයි ද මට සිතිණි. එහි මේසයක් සේ සවිකළ ලෑල්ලකි. එක් පසෙක සපත්තු සෑදීමේ උපකරණ රැසකි. අනෙක් පසින් සාදා නිමකළ සපත්තු සහ සෑදීමට භාරදුන් පාවහන්ය. සමහර පාවහන් කවර තුළ බහා ඇත. බිත්ති පුරා විසිතුරු පින්තූර රැසකි. එක් තැනෙක බුදු රුවකි. ඒ අසලින්ම දේව රූප කිහිපයකි. ඒ අතර ගණදෙවි රූපය ඉදිරියේ මල් කිනිත්තකි. සායිබබා ගේ ප්‍රසිද්ධ සිනාසෙන පින්තූරය ළඟින් ම “රත්නමාලි යන්ත්‍රය සඳහන් පත්‍රිකාවකි. සිනාසෙන සිඟිති දරුවකුගේ පින්තූරයට පහළින් “අම්මා බුදු වේවා” යන වාක්‍යය සහිත ස්ටිකරය අලවා තිබේ. මැටි පහන ඇත්තේ ගණදෙවි රුව ඉදිරියෙහි ය. ඉන්දීය සුපිරි නළු ෂාරුක්, ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ගේ පින්තූර සමඟ සුප්‍රකට සිනමා නිළි රැජිනගේ සිනාවත සහිත රූපයකි.මේ සියල්ලෙන්ම ඔහු ප්‍රාර්ථනා කරන්නට ඇත්තේ “සාර්ථකත්වය” එය “මුදල්” හෝ “සතුට” වන්නට ඇතැයි මම සිතුවෙමි.
“බලන්න මහත්තය, මහත්තයාගෙ සපත්තු දෙක පේන්න තියෙනවද කියල....” මගේ සිත යළිත් නොසන්සුන් විය. මට පෙනෙන්නට මසා නිම කළ පාවහන් අතර එය නැත. උමාගේ අසුනේ වාඩි වී සිටින ක්‍රිෂ්ණ කවරවල දමා ඇති පාවහන් එකිනෙක ඔසවා මට පෙන්වීය.
“හරි..... හරි.... ඒක තමයි...... දෙන්න....” ම විසින් පාවහන් ඔතා දුන් කවරය හඳුනා ග ත් මම හඬනඟා කීවෙමි. මම එය රැගෙන කවරය ඉවත් කළෙමි. එය මා භාර ලෙසින් ම විය. මගේ දෙපා දෙකත් රත්වී යනු මට දැනිණි.
“අනේ.... අල්ලලවත් නැහැනේ... මං හෙට යන්නෙ කොහොම ද?” ක්‍රිෂ්ණ සමාව අයැදින ලෙසින් මදෙස බලා සිටියේය. මගේ මුහුණේ වික්ෂිප්ත ස්වභාවයන ඔහු කියවන්නට ඇත.“දෙන්න මහත්තයා....” ක්‍රිෂ්ණ සපත්තු කුට්ටම ගෙන එකින් එක මාරු කරමින් ඒ මේ අත පෙරළා බැලුවේය. ඇතුළෙන් අත දමා සම්බන්ධය බිඳී ඇති කොටස් ඉස්මතු කර ගත්තේය.
“මහත්තය, ටිකක් ඉන්න... මං මේක මහල දෙන්නං...”
“ක්‍රිෂ්ණ සපත්තු මහල තියෙනව ද...?”
“නෑ කවදාවත් ම නෑ... තාත්තා ඒක මට කරන්න කිව්වෙත් නෑ. මට මේ වැඩේ අප්පිරියයි. මට මීට වඩා මුරවැඩේ හොඳයි මහත්තයා...”
“එහෙනම් කොහොමද කරන්නෙ...”
“ඉස්සර මං බලා ඉඳලා තියෙනවා තාත්තා සපත්තු හදනව...”
“එහෙනං බලන්නකෝ.... හැබැයි මේක හොඳටම තියෙන්න ඕනැ....”
එයට පිළිතුරක් නොදුන් ඔහු ඉටිපන්දම තවත් ළං කර ගත්තේය. පිහිතලයෙන් ඉරුණු කොටස් මතු කළේය. ඉඳිකටුව ද නූල ද ගෙන සපත්තුකරුවෙකු නොවූ ක්‍රිෂ්ණා ඉතා සූක්ෂ්ම ලෙස කාර්යයෙහි නියුක්ත විය.
ඔහුගේ ක්‍රියාකාරිත්වය නිසා ජනිත වූ හැඟීම, සියුම් සතුටක් බවට පත්වෙමින් තෘප්තිදායක සිතුවිල්ලකින් මසිත පහන් වෙමින් තිබිණි. ඔහු සපත්තු දෙකම මසා නිම කළේය. යළි යළිත් පරීක්ෂාකර බැලුවේ ය. වරදක් නැති බව වටහා ගත්තේ ය.
“බලන්න මහත්තයා..... හරි ද කියලා......”
“හරියටම හරි...... උමා කළා වගේමයි.....”
“මහත්තයාගේ ඕනැකම මට දැනුණා.”
“ඇත්තටම මං බයෙන් හිටියෙ....” මම සපත්තු පාර්සලය අතට ගතිමි. සාක්කුවේ රුපියල් සියයක් ද විස්සේ නෝට්ටුවක් ද තිබිණි. මා එය ඔහු අත තැබුවේ නැවතත් ස්තුති කරමිනි.
“එපා මහත්තයා මට සල්ලි එපා....”
“ක්‍රිෂ්ණ මට කළේ කියන්න බැරි තරම් උදව්වක්... මේක ගන්න...”
“එපා.... එපා... සල්ලි ගත්තොත් මගෙ හිතට හොඳ නැහැ...”
“ඇයි මේ සල්ලි ඔයාගේ මහන්සියටනේ...”
“ඇයි මහත්තය.... ඇත්තටම කියන්නං තාත්ත මේ වැඩේ කරනවටවත් මම කැමති වුණේ නැහැ.... මං මේ වැඩේට කිසිම කැමැත්තක් තිබ්බේ නෑ..... ඒත්.... මේ වැඩේ මිනිස්සුන්ට කොච්චර ඕනෑ දෙයක් ද කියල මට අද තේරුණා... මං හෙට ඉඳල මේ වැඩේට බහිනවා මහත්තයා.... තාත්ත වෙනුවට....”
මම සතුට ප්‍රකාශ කර ඔහුට සුබ පැතුවෙමි. පහන නිවා කුටිය වසා දැමූ ඔහු දොර අගුල දමා කුටිය දෙසට දෑත් එක්කර වඳිනු මම දිටිමි. ක්‍රිෂ්ණ ගෙදර ගියේය.
මා එන විට අප්පච්චිත් අම්මාත් මඟ බලමින් සිටියහ.
“කොහෙද පුතේ ගියේ....? ඇඟේ ලේ වතුර වෙලා අපි හිටියේ....”
“මං උමා බලන්න ගියා.... අම්මේ....”
“ෙමාකද වුණේ පුතේ....”
“උමා මැරිලා නෑ අප්පච්චි....” මම අත තිබූ සපත්තු සහිත කවරය ඉහළට ඔසවා පෙන්වීමි.
මහා නගරය - කෙටිකතාව
(ආචාර්ය සඳුන් විජේසිරි - සිළුමිණ සත්මඩල)
ලණු දිරාගිය ඇඳේ විට්ටමට හේත්තු වී උන් ගබ්රියෙල් අයියා උගුර පාදා කෙළ පහරක් ගසා නැවතත් උඩ බලියාගෙන කල්පනා කරන්නට පටන් ගත්තේ ය. රාත්‍රි ගනඳුරට බියේ ආලෝකය හැංගිමුත්තන් කෙළිමින් උනි. කළු වලා අතරින් යන්තමට අඩ සඳක් මෝදුවෙමින් තිබිණි. ඒ අතරින් පියෑඹූ වවුල් පැටවකු වහලේ දිරාගිය පොල් අතු අතරින් ඔහු දැක්කේය. අනන්ත වූ ආකාසේ කොනක නිවි නිවි දිලෙන මාලී මලක් බඳු පුංචි තරුවක් ඔහු නෙත ගැටුණි. වෙනදා දකින තරුවක එළියට වඩා එහි අපූරු එළියක් ඇතැයි ඔහුට සිතිණි. ගබ්රියෙල් අයියා වහලේ හිල්වුණු වෙනත් තැනකින් තරුව දිහා ඕනෑකමින් බැලුවේ ය. හඬාගෙන වැටෙන ගොම්මන් අඳුර පැල වෙලා ගනිමින් උන්නේ ය.
“මේ ඇහුණද කොලුගෙ අම්මෙ... ඔය සීවලි හාමුදුරුවන්ගේ පාන තිබ්බ නං...” ඔහු තම බිරිය ඇමතුයේ ය.
“අන්තිමට තිබිච්ච තෙල් ඩිංගෙන් තමයි දවල් ඔහේට කරවල කට්ට තෙල් දාල දුන්නේ... මගේ අතේ තඹයක්වත් නැහැ. මේ මඟ බලාගෙන ඉන්නේ කොලුවවත් එනවද කියලා...”
“එහෙනන් ඉතින් මක්කොරන්නෙයි...” ඔහු මිමිණුවේය.
යාබද සොහොන්පිටිය වෙතින් හමා ආ භූමිතෙල් ගඳ සමඟ කැකෑරුන හුළඟ ඉහමොළ රත්කරවමින් පැල හරහා හමා ගියේ ය.
“මෙහෙම දුක් විඳ විඳ ඉන්නවට වඩා මැරිල යන එවුන් වාසනාවන්තයෝ....”
“දුක් විඳ විඳ ඉන්නව කියල හරියන්නේ නැහැ... ඔහෙ හම්බුවෙන සත කීය හරි එකතු කරලා ඉර බැහැගෙන යනකොට රා කට්ට ගහගන්නවා... අර අහිංසක මාල්ලාට තණකොළ ගහක් අරන් දෙනවට වඩා ඔහෙගේ බීමනාව ලොකුයි. කොල්ලට දවල්ට කෑමක් නැහැ. උගෙබඩ සෝපොත්ත වෙලා. කිව්වනේ නගරාධිපති උතුමාණන්ට ගිහිල්ල කතා කළොත් මොකක් හරි කරගන්න බැරි වෙන එකක් නැහැ කියලා. ඒ උත්තමයෝ දුප්පත් අයගේ දුක දන්න මිනිස්සු නොවැ...”
“මට බැහැ බං.... උඹ ඕන්නං පලයං... ඔය නීති හරඹ කරන්න ඉස්සරවෙලා දන්නවනෙ අපි වගේ කොටහකුත් ඉන්නවා කියලා... තුඃ නොදකිං” කැස්සත් සමඟම ගබ්රියෙල් අයියා තම කේන්තිය පිට කළේය.
උදේ පටන් “සමූපේ” අහලට වී කරත්තය නැංගුරම් ලාගෙන උන් ඔහුට අද මුළු දවසටම කුලියක් ලැබුණේ නැත. සමූපකාරයට සිමෙන්ති අද ගෙනෙයි - හෙට ගෙනෙයි යනුවෙන් සිහින මවමින් උන් නිසා සතියක් තිස්සේ ගොනාට පිදුරු කට්ටයක් තබා පුන්නකුක් රාත්තලකටවත් අතමිට සොයා ගැනීමට ඔහුට මඟක් නොවීය. ඉල ඇට පෑදුණ ගොන්මාල්ලා දකින ගබ්රියෙල් අයියා කීරි ගැහෙන පපුවේ වේදනාව සුසුමකින් පාකර හරියි. ඔහු උන් තැනින් නැගිට විත් ඉස්සරහ උළුවහු කණුවට හේත්තු විය.
පැලට යාබද වූ සුසාන භූමිය කොනේ දැවෙන සොහොන අසල සිටියවුන් කවුරුත් පෙනෙන්නට නැත. උඩ සිට බිමට පෙරළුණ රබර් කොටයක ශබ්දයට ඔහු ඒ දිහා බැලුවේය. තම ඥාතියාගේ වියෝවෙන් විලාප දුන්නවුන්ගේ දෝංකාරය ගබ්රියෙල් අයියාගේ දෙසවන්හි තවමත් රැඳී ඇත.
“මගේ තාත්තා මැරිච්ච දවසෙත් අපි එක පොදියට ඇඬුවේ ඔය විදියට... අනේ මියැදුණ උන්දෑවත් අපේ දිහා බැලුවොත්... හෙට උදේට යන්න ඕනි නගරාධිපතිතුමාව මුණ ගැහෙන්න...” ගබ්රියෙල් අයියා තම ඉණ අතගා බලා යාර කිහිපයක් ඔබ්බෙහි වූ ලෑලි කඩයට පියවර මැන්නේය.
පසුදා උදේ පාන්දරින්ම නගර සභාව තුළට ඇතුළු වූ ගබ්රියෙල් අයියා නගරාධිපති උතුමාණන් එනතුරු ඔහුගේ කාර්යාලය අසලට වී සිටියේ ය. නගරාධිපතිතුමා පෙරවරු දහයට පමණ නෞකාවක් වැනි මෝටර් රථයකින් ළඟාවුණේය. දෙකට තුනට නැමුණු ගබ්රියෙල් අයියා තම කරෙහි වූ ලේන්සුව අතට ගෙන මුහුණ පිසදා ගත්තේය.
විනාඩි දහයකින් පමණ නගරාධිපතිතුමා තම සීනුව නාද කළේ ය. “අමාරිස්... බලාපන් අර දොර ළඟ කැරකෙන හිඟන මිනිහා කවුද කියලා. උඹ දැක්කේ නැද්ද ඌව එළවලා දමන්න මෙතෙක් වෙලා... අද පිංපඩි ගෙවන දවස නෙමෙයිනේ” ඔහුගේ කනිටු සේවක අමාරිස් සිය දෑස් පිසදමමින් එළියට ආවේය.
“මොකද ඕයි... තමුසේ කවුරු මුණ ගැහෙන්නද? මළ පෙරේතයෙක් වගේ...” නගර සභාවෙන් නොමිලේ දෙන ඇඳුම් කට්ටලයෙන් සැරසී උන් අමාරිස් කෑ මොර දුන්නේ ය.
“අනේ ආයිබෝවන්ඩ.... නගරාධිපති උත්තමය මුණ ගැහෙන්න...”
“තමුසෙට ඔය විධියට නගරාධිපතිතුමා මුණ ගැහෙන්න බැහැ...”
“අනේ කොහොම හරි මුණ ගස්සන්න... මට දුක් ගැනවිල්ලක් තියෙනවා...”
“දුක්ගැනවිල්ලක්? එහෙම නන් ලියල ඉදිරිපත් කරනවා...”
“අනේ බුදු මහත්තයෝ... ලිය ලිය ඉන්න මම අකුරට ගිය එකෙක්යැයි... මාව මුණගස්සන්ඩ කටින් කියඤ්ඤං....”
“අනේ මගෙ කට... කටින් කියඤ්ඤං....” නගරාධිපතිතුමාගේ කනිටු සේවකතුමෝ එතැනින් සංක්‍රමණය වූහ.
“සර්... ඒ මිනිහ සර්වම මුණගැහෙන්න ඕනැලු. යන්න කීවට යන්නේ නැහැ.” අමාරිස් දෙකට තුනට නැමුණේ ය.
“මොනව... එන්න කියහං බලන්න...” ගබ්රියෙල් අයියා ගාටමින් නගරාධිපතිතුමාගේ කාර්යාලයට ඇතුළු විය.
“ඔහොම ඉන්නවා... ඔහොම ඉන්නවා... මොනවද උඹට ඕනේ...?”
“අනේ බුදු මහත්තයෝ... අලුතෙන් නීතියක් ඇවිල්ල මහ නගරසභා සීමාවට ගොන්නු බැඳගත්තු කරත්ත ඇතුළු කරන්න එපා කියලා... අපිට කුලියක් මලියක් කරගෙන ජීවත්වෙන්න විදියක් නැහැ. බත් කටක් කියල දෙයක් කෑවෙ නැහැ සුමානෙකින් විතර...”
“ඉතිං... උඹලට බත් උයල දෙන්නද මට කියන්නේ...? නගරාධිපති ගුගුළේය.”
“අනේ හාමු මහත්තයෝ... බුදු මහත්තයෝ පොඩි කාලේ ඒ වලව්වේ මගේ තාත්තා වැඩ කළා... බේබිහාමු පුංචි කාලේ කොලීජියට අරන් ගියේ බක්කි කරත්තෙන් අපේ තාත්තා... උන්දෑ මැරිලා ගියාට පස්සේ එහෙට කාරෙකක් ගත්තට පස්සේ බක්කි කරත්තේ නැවැත්තුවා. ඉස්සර නම් ඕනෑ තැනකට කරත්තේ දක්කන්න අවසර තිබුණා. මහරජ්ජුරුවෝ එනවා කියලා මහ පාරවල් කැඩෙන හින්ද නගරසභා සීමාවට කරත්ත ගන්න දෙන්නෙ නැහැ. ටවුමෙන් එළියේ කුලියක් ලැබෙන එක හාවා හඳ දකින්නා වාගේ... ටැක්සිවලට මිසක්ක අපිට කොහෙත්ම ජීවත් වෙන්න විදියක් නැහැ...” ගබ්රියෙල් අයියාගේ උගුරේ ය මක් හිරවුණා සේය. ඔහු දෙනෙතට කඳුළු බිඳු නැංගේය.
“පලයන් යන්න... ඔය නීති වෙනස් කරල උඹලට මහපාරවල් කඩන්න දෙන්න බැහැ... උඹ අනිත් එක බොරු කියනවා... අපි කවදාවත් බක්කිකරත්ත වලින් කොලීජිවලට ගිහිල්ල නැහැ... වලව්වේ හතර මායිමට කරත්ත රෝදයක් ඇතුළු කරලා නැහැ... අමාරිස් මෙහෙ වරෙන්... මෙන්න මේ යකාට යන්න කියහං...”
ගබ්රියෙල් අයියා මොනවාදෝ දෙඩීමට උත්සහා කළ ද නිරුත්තර වූයේය.
නගරසභා කාර්යාලයෙන් එළියට ආ ගබ්රියෙල් අයියා වෙහෙස නිවා ගන්නටදෝ මාර ගසක් මුල හිඳ ගත්තේ ය. කොළ හැලී අතු රිකිලි පමණක් ශේෂව තිබූ මාර ගහ යට ඔහු බලාපොරොත්තු වූ සෙවණක් නොවීය. ගබ්රියෙල් අයියා තම කෙඩෙත්තුව නිවා ගනු වස් වෙනත් සෙවණක් සොයා පියමං කළේ ය.
- සිළුමිණ
පිඹුරු පැටියා - කෙටිකතාව
සුනන්ද එරංග පෙරේරා
- සිළුමිණ
කඳ මැදට වැදුණු පොලු පහරින් කොඳු නාරටිය බිඳී ගිය පිඹුරු පැටියා වේදනාවෙන් මඳක් හිස ඔසවන විට වටේ සිටි පිරිසෙන් හඬක් නැඟුණි.
“ගහපං ඔළුවටම. පනින්නයි හදන්නෙ, ගැට පොළඟ”
හිසට වැදුණු ඊළඟ පහරින් පිඹුරු පැටියාගේ එක් ඇසක් චුරු පැන්නේය. ජානමය ශක්තියෙන් ලබාගත් උරුමයෙන් වේදනාව ඉවසීමේ ශක්තියක් තිබුණත් වේදනාවෙන් ඌ හිස බිමට තබා ගත්තේය. උගේ විවර වූ ඇසින් වටේ රැස්ව සිටි පිරිස දෙස බැලීම පවා බියකරු විය.
දුරුත්තේ හීතලත් සමඟ ක්‍රමයෙන් උණුසුම් වන කාලගුණයක් සහිත එසේම ඒකතානමය ලෙස ගෙවී යෑමට තිබූ වෙන්දේසි වත්තේ දිවා කල ජීවිතය මෙම ගැට පොළඟා නිසා වෙනස්වීම පිළිබඳව උද්‍යෝගිමත් විස්මයක් හැම දෙනාම සතු විය.
ඇතැම් කාන්තාවෝ රාත්‍රියේ බලා යළි උදේ කාලයේත් බලන්නට සිටි දුක්මුසු සහ ප්‍රීතිමත් අඹුසැමි ප්‍රේමයකින් යුක්ත ටෙලි නාට්‍යයන් අමතක කර දමා සිටියහ. සැබවින්ම ගෙහිමි කාන්තාවන් ඔවුනොවුන් පිළිබඳ තොරතුරු දූසමානව දැන සිටියත් එකිනෙකා හමුවීමේ භාග්‍යය පිඹුරු පැටියා ලබා දී තිබිණි.
ගැට පොළඟා යනුවෙන් පිඹුරු පැටියා වරදවා වටහා ගෙන සිටි සර්ප දඩයක්කරුවා හතළිස් හැවිරිදි මුඩු හිස් ඇති මහත දෙහෙත එසේම වේගයෙන් තරුණ විය ඉක්මවා යමින් සිටි අයෙකි. රැකියාවේ රාත්‍රී සේවා මුරය අවසන් කර පැමිණ නිදා ගැනීමට පෙර අත්තිවාරම පමණකින් යුතු ඉදිරිපස ඇවිදිද්දී මල් ගාලකට ඇදී යන පිඹුරු පැටියා ඔහු දුටුවේය. ඒ විගස ම ඔහු පිඹුරු පැටියා ගැට පොළඟා සේ වරදවා වටහා ගත්තේය. සමීපව තිබූ ගෙවල් දෙක තුනකට කෑ ගැසූ ඔහු පොල්ලක් ගෙන උගේ පිටකොන්ද කඩා දැමීය.
පිරිස වේගයෙන් විස්සක් පමණ රැස්විය. යතුරුපැදි දෙකක් ද ත්‍රීවිලරයක් ද පැමිණ තිබිණි. මෙහිදී බොහෝ දෙනෙක් ගැටපොළඟුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව තම අත්දැකීම් ඉදිරිපත් කරන්නට වූහ. සමීප පොළවල් දෙකක වට්ටක්කා විකුණන මැදි වයස් වෙළෙන්දා තම සර්ප විශේෂඥ දැනීම ඉදිරිපත් කළේ මෙසේ ය.
“නයාටත් වැඩිය ගැට පොළඟා විෂයි. අපේ මාමා කෙනෙක් ගැට පොළොගෙක් දෂ්ට කරල ජීවත් වුණේ පැය තුනයි. මළේ ගැට ගැහිල උණ්ඩි වෙලා.”
පිරිසේ සිටි තරුණ මවක තම හය මස් හැවිරිදි බිලිඳිය වඩාගෙන විස්මයෙන් මේ කතාව අසා සිටියාය. මේ සිදුවන අලකලංචිය පිළිබඳව හාංකවිස්සියක් නොදන්නා බිළිඳිය හඬන්නට වූ පසු මව කාරණය පැහැදිලි කර දුන්නාය.
“ගැට පොළඟ හප්පා. බබා කෑ ගහන්න එපා. ඌ පනීවි.”
ළඟ සිටි මැදි වයස ඉක්මවූ ගැහැනියක දරුවා ඔසවා ගැට පොළඟා පෙන්වීය. උඩට එසවුණු බිලිඳිය සන්සුන් වූවාය.
සර්ප දඩයක්කරුවා මේ මොහොතේ වෙන්දේසි වත්තේ සියලු නිවැසියන්ගේ ගෞරව ප්‍රණාමයට පාත්‍ර වී තිබිණි. ඔහු මෙයට පෙර ද සර්පයන් අල්වා බෝතල්වල දමා ළඟ කැලෑවලට ගෙන ගොස් දමා ඇති බවට කීප දෙනෙක් කතා වූහ.
සුළඟ සහිත උණුසුම් කාලගුණය හැම තැනම පැතිරී තිබිණි. කලින් රබර් හේඩාවක් වූ ඉඩම මුළුමනින් ම මුඩු කර එනම් සංවර්ධනය කර විකුණා තිබූ නිසා තවමත් බඩ් අඹ ගහක් රඹුටන් ගහක් හැරෙන්නට ගහකොළ වැඩී නොතිබිණි. නිවෙස් මුළුමනින්ම ඉදිවී තිබුණේ කීපයක් පමණි. බොහෝ නිවෙස්වල අත්තිවාරම මත නිමකර තිබුණේ කාමර දෙකක් පමණි.
“හැම තැනම මුගටියො ඉන්න හින්ද නයිනං නැතිව ඇති.” එක් ගැහැනියක කීවේ සති අන්තයේ තමන් බලන ටෙලි නාට්‍යයක් සිහිපත් කරමින්ය.
“නැත්තෙ මොකද? දවල්ට වෙලේ කළු හැපින්නක් අව්ව තැප තැපා ඉන්නවලු.”
පිඹුරු පැටියා මේ මොහොතේ සිහිපත් කළේ තම මව සහ වැඩිමල් සහෝදරයා පිළිබඳවය. අම්මා තම දරු දෙදෙනා සමඟ දිවා කල ගත කළේ බොරු පන් යායේය. ඇය ගම්මානයට ගියේ රාත්‍රී කාලයේය. බොරුපන් යායේ තිබූ සීතලෙන් මිදී වෙන්දේසි වත්තේ ගෙවල් පිටුපසින් බෙහෙවින් සැඟව දරු දෙදෙනා සමඟ ඇය හෙමිහිට ඇදී ගියාය.
අයියා අම්මාගේ හෙවණට පැවැත්මට කීකරු වුවත් තමා හිතුවක්කාර විය. මේ ඒ අකීකරු වීමේ ප්‍රතිඵලයයි. බොහෝ නිවෙස්වල බොහෝ දෙනකු රැකියාවට ගොස් ඇති නිසා අමුතු නිදහසක් භුක්ති විඳිමින් වැසූ දොරවල් සහිත මිදුල් උඩින් ඌ ඇදී ගියේය. එහෙත් අවාසනාවට සර්ප දඩයක්කාරයාගේ උකුසු ඇසට පිඹුරු පැටියා හසු විය.
හිරු එළිය දැඩි වුවත් තමන් සිටින ඉරියව්වෙන්ම සිටිය යුතු යැයි පිඹුරු පැටියා සිතුවේය. තමන් කිසියම් සසල වීමක් සිදු කළහොත් ඉතිරි ඇස ද චුරු පැනීම ඒකාන්තය.
“මං හිතන්නෙ මැරිල.” කවුදෝ කීවේය.
“බලමු, ගැට පොළඟගෙ පණ හයියයි.” දඩයක්කරුවා කීවේය.
මේ අතර පාර අයිනේ පෝච්චි මඩුවේ සේවකයන් හතර දෙනා තමන්ගේ සියලු දෛනික වැඩ අත්හැර දමා ගැට පොළඟා නැරැඹීමට පැමිණ තිබිණි. පෝච්චි මිලදී ගැනීමට පැමිණි තරුණ යුවළක් ද ඒ සමඟ විය.
“එදා අපි නාච්චිමලේ ගිය දවසෙ හොටෙල් එකේ ස්විමිං ෆූල් එක ගාවදි සිකියුරිටි මරල දැම්මේ මේ වගේ එකෙක් නේද රවි.” තම ස්වාමියාගේ අතේ එල්ලී සිටි හිසකෙස් මඳක් තඹ පැහැ ගැන්වුණු තරුණ බිරිය ඇසුවාය.
“නෑ. ඌ මෙයිට වඩා හීන්. මූ සැපට හැදිච්චි එකෙක්.”
විශාල කොට කලිසමක් ඇඳ සිටි තට්ට හිසක් සහිත ස්වාමියා සිටියේ වාහනේ යතුර දකුණතේ දබර ඇඟිල්ලේ රඳවා කරකවමින්ය.
මේ අතර පෝච්චි මඩුවේ සිට පැමිණි එක් තරුණයෙකු දිග රිටක් ගෙන ගැට පොළඟා හරවා මහ හඬින් මෙසේ කීවේය.
“අපරාදෙ මේ පිඹුරු පැටියෙක්.”
“නෑ මේ පුල්ලි, වළිගෙ, ඔළුව, ගැට පොළඟමයි.” සර්ප දඩයක්කරුවා ඉක්මනින් පිළිතුරු දුන්නේය.
“කෝ විෂ දළ? පිඹුරු පැටියාගේ කට රිටෙන් විවර කරමින් තරුණයා කීවේය.
“ගහපු පාරට විෂ දළ කැඩිල.” දඩයක්කාරයා සිටියේ ස්ථිර නිගමනයේය.
මේ අතර දඩයක්කාරයාගේ තරුණ බිරිය ගෙදරට දුව ගොස් පින්තූර කොළයක් රැගෙන ආවාය.
“මේ ඉන්නෙ ගැට පොළඟම තමයි.” එහෙත් පින්තූරයේ සර්පයා හඳුන්වා දී තිබුණු නම් කොටස ඇගේ පිරිමි දරුවන් තුන්දෙනාගෙන් එක් අයෙකු රොකට් තැනීම සඳහා කඩාගෙන තිබිණි.
“අපරාදෙ පිඹුරු පැටියා. හරිනම් උන් මරණ එක නීතියෙන් තහනම්.”
පෝච්චි මඩුවේ සේවකයා තම සගයන් පිරිවරා ආපසු ගියේ තම ප්‍රකාශයට පිළිතුරක් බලාපොරොත්තු නොවෙමින්ය.
විශ්වාසය බිඳ වැටුණු බොහෝ දෙනා හෙමිහිට යන්නට වූහ. කෙසේ වුව ද තමාට යළි ප්‍රකෘතියෙන් තම මව සොයා බොරු පන්්ගාලට යා නොහැකි බව පිඹුරු පැටියා වටහා ගත්තේය. තමාගේ චුරු පැන්න ඇසත් බිඳුණු පිටකොන්දත් දුටු විට අම්මා බොහෝ ශෝක වනු ඇත.
“වළ දානව ද? පුච්චනව ද?” ඉතිරි වී සිටි පොළේ යන සර්ප විශේෂඥයා ඇසුවේය.
“වළ දානව.”
අවසානයට ඉතිරි වූයේ දඩයක්කරුවාත්, බිරියත් දරුවන් තිදෙනාත් පමණි.
“ඇත්තටම මේ පිඹුරු පැටියෙක් ද?” දඩයක්කරුවාගේ බිරිය ඇසුවාය.
“ගැට පොළඟ. ඒ පඟරනැට්ටො දන්න මළහත්තිලව්වක් නෑ.”
දඩයක්කරුවා අඩියක හමාරක වළක් කැපුවේය. අනතුරුව කඳ මැදින් රිටක් දමා ඔසවා ගෙනගිය පිඹුරු පැටියා වළ තුළට දැමුවේය. වළ ඇතුළ සීතලය. ඒ අම්මා සමඟ සිටි බොරුපන් යායේ සීතලය. අම්මා සමඟම දැවටෙමින් සිටි තම සහෝදරයාත් තේජවන්ත සිරුරකින් යුතු එහෙත් කාරුණික තම මවත් සිහිපත් වීමෙන් පිඹුරු පැටියාගේ යහපත් ඇසට කඳුළු නැඟිණ.
රතු දුඹුරු පස් සහිත බිත්ති කඳුළින් බොඳ වූ ඇසින් දකිමින් සිටි පිඹුරු පැටියා මතට දඩයක්කරුවා ගොඩ දැමූ පස් තල්ලු කළේය. එක්වරම ඌ දුටුවේ අඳුරේ ආලෝක රේඛාවකි. අනතුරුව ක්‍රමයෙන් එය අතුරුදන් වී ඝනැති තද අඳුරකින් සියල්ල වැසී ගියේය.
මම කැමැතියි
නිර්මාල් දාබරේ(?)
සිළුමිණ සත්මඩල
“සුනිමල් දැන් ඉතින් උසස් පෙළ ප්‍රතිපල එනකන් අපි ගෙදරට වෙලා නිකන් ඉන්න එක තේරුමක් නැහැ. ඒ නිසා මම ටයිපිං ෂෝට් හෑන්ඩ් පන්තියකට යන්න තීරණය කළා ඔයත් ඒකට එනවද?
“මම නම් කැමතියි ඔයා එහෙම පන්තියක් ගැන හොයා ගත්තද?”
“ඔව් මාතර හොඳ පන්තියක් තියෙනවා”
“එහෙනම් අපි දෙන්නම ඒකට යමු.”
කථා කරගත් පරිදි පසුදා ම අපි මාතර ගිහින් ඒ පන්තියට ඇතුළු වුණා. මුල හිටන් පුහුණු වෙන්න ඕන නිසා අපව අලුතින් පටන් ගන්න පන්තියකටයි ඇතුළු කරගත්තේ. ඒ පන්තියේ හිටියේ අපි වගේ උසස් පෙළ පළමු වරට දෙවන වරට කළ අපේ පෙළේම ගැහැනු ළමයි හයකුත්, අපි දෙන්නත් එක්ක පිරිමි ළමයි හතරකුත් ඇතුළු දහ දෙනෙක්. දහ දෙනාගෙන් හය දෙනෙක් පන්තිය ආසන්නයේ අය. ගැහැණු ළමයි දෙන්නකුයි අපි දෙන්නායි හතර දෙනා මාතර නගරයේ සිට කිලෝමීටර් අටක් විතර දුර කැකුණදුර පළාතේ. මමයි ධනුෂ්කයි චම්පයි නිරංජලයි ඒ අපි හතර දෙනා. අපි පන්ති යන්න මාතරට එන්නේත් ආපසු යන්නේත් බස් එකේ. ඒ නිසාත් එකම පළාතේ ඉන්න නිසාත් අපි හතර දෙනා අතර අනෙක් හය දෙනාට වඩා සමීප හිතවත් කමක් ඇති වුණා.
අපිත් එක්ක යන එන ගැහැනු ළමයි දෙන්නගෙන් චම්පා ගෙ සිත් ඇද ගන්නා ලස්සනක් මම දැක්කා. නිරංජලාත් ලස්සන නැතිව නොවෙයි. නමුත් එයාට වඩා චම්පගෙ විශේෂත්වයක් මම දැක්කා. ටික දවසක් යන කොට චම්පා ගැන මගේ හිතේ ළෙන්ගතුකමක් අදහසින් ඇති වුණා. චම්පට ඒ ගැන කියන්න මට කිහිප වතාවක් ම සිතුණා. නමුත් මීට පෙර කිසිදාක මම කෙල්ලෙක් ගැන හිතලවත් කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් ඇති කර ගනවත් නොතිබුණ නිසා මට මගේ හිතේ තියෙන දේ කෙළින් ම කියන්න හිතේ පොඩි චකිතයක් කුලෑටිකමක් සබකෝලයක් ඇති වුණා.
ඇයට මේ ගැන කියන ක්‍රමය ගැන මම දස අතේ කල්පනා කළා. නිරංජලා එයාගෙ හොඳ යාළුවෙක් කියල මට හිතුණා.
ඒ නිසා නිරංජලා ලව්ව මගේ හිතේ තියෙන අදහස චම්පට කියන එක හොඳයි කියල මගේ හිතට ආවා. දවසක් පන්තිය ඉවරවෙලා ගෙවල්වල යන්න අපි හතර දෙනාම බස් එකට ආවා. බස් එකේදි නිරංජලාටත් මටත් එක ම සීට් එකක වාඩිවෙන්න හම්බු වුණා. බස් එක අද්දල ටික දුරක් යන කොට මම.
“නිරංජලා මට ඔයාගෙන් පොඩි උදව්වක් ඕනෙ. ඔයා ඒක කරල දෙනවද?” මම ඇහුවා.
“කියන්න කියන්න සුනිමල් අයියෙ ඔයා කියන මට පුළුවන් ඕනම උදව්වක් මම කරනවා” ඇය කීවා.
“නිරංජලා චම්පා ගැන මගේ පොඩි කැමැත්තක් අදහසක් තියෙනවා ඔයාට බැරිද ඒ ගැන එයාට කියල එයා මොනවද කියන්නෙ කියල මට කියන්න.”
“සුනිමල් අයියෙ මම නම් හිතන්නෙ එයාට බෝයි කෙනෙක් ඉන්නවා. ඒත් අයිය කියන නිසා අද බැහැල යනකොටම මම අහල බලලා එයාගෙ අදහස හෙටම මම අයියට කියන්නම්” ඇය කීවා.
පසුදා පන්ති එන්න නියමිත වෙලාවට මාත් ධනුෂ්කත් කැකණදුරෙන් බස් එකට නැග්ගා. බස් එක ඇවිත් තල්පාවිල දෙල්ගල්ල හන්දියේ නවත්තපු ගමන් චම්පයි නිරංජලයි සිනහවෙවි බස් එකට ගොඩ වුණා. වෙලාවට මගේ සීට් එකේ මම විතරයි නිරංජලා හනික ඇවිල්ල මගේ ළඟින් වාඩි වුණා. චම්පා මා දිහා බලල කට කොනකින් සිනාසී ගන ඉදිරියට ගියා. නිරංජලා වාඩි වුණ ගමන් “අයියේ ඊයේ යන ගමන් ම චම්පට අයියගෙ අදහස ගැන කිව්වා. අනේ අයියෙ එයා කියනව හරි කණගාටුයි. මම කොල්ලෙක් එක්ක යාළු වෙලානෙ ඉන්නෙ කියල.”
මට ඒක අහපු ගමන් මම දැන් චම්පට මුහුණ දෙන්නෙ කොහොමද? මට ලැජ්ජාවක් වගේ ම හිතට පොඩි දුකකුත් ඇති වුණා. මේ ගැන සිතිවිලි අතර තෙරෙපෙද්දී බස් එක මාතරටත් ඇවිල්ලා. මට බස් එකෙන් බහින්නවත් කල්පනාවක් නැහැ. නිරංජලා නැගිටල ගිහිල්ලා චම්පා මා පසු කරගන යන ගමන් මගේ උරහිසට තට්ටු කරලා “ඇයි බහින්න කල්පනාවක් නැද්ද” කියාගන ඉදිරියට ගියා.
ඒ ඇහිල මමත් කලබලයෙන් නැගිටල බස් එකෙන් බැස්සා. සුපුරුදු විදිහට අපි හතර දෙනාම කතා බස් කර කර පා ගමනින් ම පන්තියට ආවා. පන්තිය ඇරිලත් පුරුදු විදිහටම බස් නැවතුමට ඇවිල්ල බස් එකට නැග්ගම චම්පටයි මටයි වාඩිවෙන්න සිද්ධ වුණේ එක ම සීට් එකේ. නමුත් චම්පගෙ හැසිරීම වෙනද විදිහමයි කිසිම වෙනසක් දකින්ට නැහැ. නමුත් මගේ හිත කැලඹිලයි තිබුණේ.
විභාගෙ ප්‍රතිඵල ආවා. අපේ පන්තියට ආපු දහ දෙනා ම සමත් වෙලා. නමුත් විශ්වවිද්‍යාලෙට යන්න මටත් ධනුෂ්කටත් විතරයි හැකි වුණේ. මම පේරාදෙණියට ධනුෂ්ක රුහුණුගම චම්පල නිරංජලාල ඇතුළු අට දෙනාටම විශ්වවිද්‍යාලෙට යන්න සුළු සුළු ලකුණු ප්‍රමාණයක් අඩු වුණේ. මට පේරාදෙණිය හොස්ටල් හම්බු වුණා. මම පේරාදෙණියට ගියා. විශ්වවිද්‍යාලයේ නිවාඩුවක් ලැබුණම ගෙදර එනවා. ඒ ආවහම ධනුෂ්ක විතරයි මුණ ගැහුණේ. අනිත් එක්කෙනෙක්වත් මුණ ගැහුණේ නැහැ.
විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතුත් එක්ක ඇඟට පතට නොදැනී අවුරුදු ගාණක් ගෙවී ගියා. මට ගෞරව පන්තියේ උපාධියක් හිමි වුණා. ඒ නිසා පේරාදෙණියෙම තාවකාලික සහකාර කථිකාචාර්ය පදවියක් ලැබුණා. ඒ අතර මම පරිපාලන සේවා විභාගයටත් පෙනී සිටියා. එයිනුත් සමත් වුණු මට උතුරු මැද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ප්‍රාදේශීය ලේකම්වරයකු ලෙස මුල්ම පත්වීම ලැබුණා. නිල රථයකුත් කාර්යාලය ආසන්නයේම නිල නිවාසයකුත් ලැබුණි.
අපේ තාත්තා නැතිවෙලා තියෙන්නෙ මට වයස අවුරුදු දහයේදී විතර. නංගිට එතකොට හතක් විතර ඇතිලු. අපේ පවුලට අපි දෙන්නා විතරයි හිටියෙ. තාත්තා පෞද්ගලික ආයතනයක ඉහළ රක්ෂාවක් කරල තිබුණෙ. විශ්‍රාම වැටුපක් නැහැ. තාත්තලගෙ දෙමවුපියන්ට හොඳට දේපළ ගෙවල් දොරවල් තිබිල තියෙනව. තාත්තා ඒ පවුලෙ හිටපු එකම දරුවා නිසා දෙමවුපියන් නැති වුණහම ඒ සියල්ල තාත්තාට අයිති වෙලා. ඒ ලැබිච්ච මහ ගෙදරයි අදටත් අපි පදිංචිව ඉන්නේ. අම්මා රජයේ පාසලක ගුරුවරියක්. දැන් එයා විශ්‍රාමිකයි. නංගි උසස් පෙළ හොඳට සමත් වෙලා දැන් ගෙවල් කිට්ටුව රජයේ පාසලක ගුරුවරියක්. අපි මේ තත්වෙට ගේන්න අම්මා තාත්තා නැති වුණදා ඉඳල විශාල පරිශ්‍රමයක් දරල තියෙනවා.
නංගී නිතරම එයාගෙ ජංගම දුරකථනයෙන් මට කථා කරනවා මගේ සුව දුක් විමසනවා. එයාලගෙ සුවදුක් පවසනවා. සතියේ දවසක නංගී දුරකථනයෙන් කථා කළා.
“අයියෙ මේ සති අන්තෙ සෙනසුරාදා නොවරදවා ඔයා ගෙදර එන්න ඕනෙ. දැන් අයියත් ඔහොම ඉඳල හරියන්නෙ නැහැනෙ. අම්මගෙ ඇස් පියවෙන්න ඉස්සෙල්ල අපි දෙන්න එකලසක් කරන්න ඕනෙ කියල එයා නිතරම කියෝනව. අම්මා ඉරිද පත්තරේක මංගල යෝජනාවක් දැකල මට ම කියල ඒකට ලියෙව්වා. බලන කොට වැඩි දුරකත් නෙමෙයි. අනේ නෑවිත් අරින්න නම් එපා” දීර්ඝ විස්තරයකින් පසු ඇය ඇමතුම විසන්ධි කළා.
මම සෙනසුරාදා දහවල් වෙනකොට මගේ නිල රථයෙන් ම ගෙදර ආවා. දහවලට කෑමත් ලෑස්ති කරගන මං එනකන් මග බලන් හිටපු අම්මයි නංගියි බොහොම සතුටින් හිස් මුදුනින් මා පිළිගත්තා පසුදා ඉරිදා උදේ වරුවේ මාත් අම්මයි නංගියි ගමනට ලෑස්ති වුණා. අපි අපේ සියලු තොරතුරුත් ලියල යැව්වානෙ. දැන් එයාලටත් මනමාලය දකින්න ඕන වෙලා කියලයි මට හිතන්නෙ අම්මා කිව්වා.
“මේ වගෙ හැඩකාර ලොකු රස්සාවක් කරන බෑනපොඩ්ඩ දැක්කහම නැන්දම්මා පැනල බදා ගනීවි” නංගිටත් හයියෙන් සිනාසෙමින් කීවා.
අපි උදේ දහයට විතර මගේ වාහනයෙන් ම පිටත් වුණා.
අපි කැකණදුරේ ඉඳල මාතර පැත්තට වාහනය ධාවනය කරන කොට කිලෝමීටර් එක හමාරක් විතර පහු වෙනකොට තල්පාවිල හරියේදී “ඔය ඉස්සරහ දෙල්ගල්ල කියල බෝඩ් එක ගහල තියෙන හන්දියේ වමට තියෙන අතුරු පාරෙන් හරවන්න” කියල නංගි කිව්වා.
එතකොටම අපේ ටයිපිං පන්තියෙ හිටපු චම්පත් නිරංජලත් හිටියෙ මේ පාරෙ නේද කියල මට මතක් වුණා. දැන් ඒ දෙන්න කසාද බැඳලත් ඇති. ඒ පාරට වාහනය හරවලා කිලෝ මීටරයකට ආසන්න දුරක් පසුකරන කොට ඒ අතුරු පාර අයිනේ කොළපාට ගාපු තාප්පයක මැදට වෙන්න තිබුණ ගේට්ටුවත් ළඟ වාහනය නතර කරන්න කියල නංගි කීවා. වාහනය නතර කරාම නංගි බැහැල ගේට්ටුව ඇරියා.
පරණ කාලේ ගාම්බීර පෙනුම තියෙන ටිකක් විශාල ගෙයක්. අපි බරාදයට ඇතුළු වෙනකොටම අම්මා යැයි සිතිය හැකි ඔසරියකින් සැරසුණු තලතුනා කාන්තාවක් දෑත් එක්කොට ආචාර කරමින් අපි පිළිඅරන් කෙළින් ම සාලයට කැන්දන් ගියා. සාලයේ අපි වාඩි වුණාම සාලයේ හිටපු මනමාලිගෙ අක්කත් මස්සිනාත් දෙන්න අම්ම අපිට හඳුන්වල දුන්නා. ඒ දෙන්නත් තවම තරුණ වයස ඉක්මවල නැහැ වගේ ම හරිම ප්‍රසන්න පාටයි. ඒ දෙන්නත් අම්මත් අපි ඉදිරිපිට අසුන් ගත් පසු ආගිය තොරතුරු කථා බහට වැටුණා. එසේ කතා බහ කරන අතර තුර අක්කා “අම්මේ ගිහින් චම්ප නංගිව එක්කරගන එන්න” කියල කීවා.
ඒ නම ඇසුණ ගමන් මෙග් හිතේ කුතුහලයක් ඇති වුණා. අම්මා ඇතුළට ගිහින් නිල් පාට ඔසරියකින් සැරසුණ බන්දේසියක වතුර වීදුරුවක් තියාගත් හිස බිමට හරවා ගත් තරුණියක් එක් අතකින් අල්ලාගන අප ඉදිරියට එක්කරන් ආවා. ඇය මුලින් ම වතුර බන්දේසිය දෑතින් හිස නමාගන අම්මාට ඇල්ලුවා.
“හා හා හොඳයි දරුවො” කියල අම්මා වතුර බඳුනට අත තියල පිළිඅරගෙන අත පසෙකට ගත්තා. ඊළඟට ඇය මා ඉදිරිපිටට විත් ටිකක් හිස ඔසවමින් කට කොනකට සියුම් සිනහවක් නඟාෙගන නෙත් කොනින් මා දිහා බලාගන වතුර බන්දේසිය මට ඇල්ලුවා. එවලේ ඇය දිහා බැලූ මට ඇස් අදහා ගත නොහැකි වුණා. මම මේ දකින්නේ සිහිනයක් ද? “දැන් දෙන්නටත් පොඩ්ඩක් කථා බහ කරන්න දැන හඳුන ගන්න අපි ඉඩ දෙමුකො. අපේ අම්මත් නංගිත් එයාලගෙ අම්මාත් සාලෙන් නැගිටල ගේ ඇතුළට ගියා. ඒ ගිය එක්කම අක්කා ඇය අතකින් අල්ලාගන ඇවිත් මා වාඩි වී සිටි සැටියේ ම පසෙකින් වාඩිකර “ඔයාල දෙන්නත් ටිකක් කථා කරල බලන්නකො” කියල සිනහ සිසී ඇයත් ගේ ඇතුළට ගියා.
“මම නම් හිතුවෙ ඔයා දැන් බැඳලත් ඇති කියලා”
“ඒ කියන්නෙ ලනුවකින් ද කඹයකින්ද?”
“ඇයි ඔයා ඒ කාලෙ කියල තිබුණෙ ඔයාට කොල්ලෙක් ඉන්නව කියල.”
“කවද්ද කොහේදිද කාටද” ඇය විමතියෙන් වගේ ඇසුවා.
“චම්පා ඔයා ගැන මගේ හිතක් ඇති වුණේ පන්ති එන කාලෙමයි. ඒ මගේ ජීවිතේ මුල් ම එක මම ඒ වෙනකොට කිසිම කෙල්ලෙක් ගැන හිතලවත් තිබුණෙ නැහැ. ඒ නිසා ඔයාට ඒ ගැන කෙළින් ම කියන්න අහන්න ශක්තියක් තිබුණෙ නැහැ. ඒත් මගේ හිත ඔයාට කියන්න කියන්න අහන්න කියල බල කළා. ඒ නිසා ඒ කාලෙ ඔයාගෙ හොඳම යාළුවෙක් කියල මම හිතපු නිරංජලාට කිව්ව ඔයාට මගේ අදහස කියන්න කියල. ඔයා මොනවද කියන්නෙ කියල මට කියන්න කියල. එතකොට එයා කිව්වෙ නම් එයා දන්න විදිහට ඔයාට බෝයි කෙනෙක් ඉන්නව. අයිය කියන නිසා මම අහල කියන්නම් කියල. ඒ මම කිව්ව දාට පසුව දා ම බස් එකේදි කිව්ව අයියේ චම්ප කිව්වනේ බොහොම කණගාටුයි එයාට කොල්ලෙක් ඉන්නව කියල.
“අනේ සුනිමල් අයියේ ඔයා පිළිගන්නව නම් පිළිගන්න. මම ඔයාට බොරුවක් කියන්නෙ නැහැ. දැන් මට වයස අවුරුදු විසි හතරක් පැනලා. මේ මගේ ජීවිත කාලෙ මම කිසිම කොල්ලෙක් එක්ක යාළුවෙලා නැහැ. කිසිම කොල්ලෙකුට නුවමනා විදිහට මගෙ අතකින්වත් අල්ලන්න මම ඉඩ දීල නැහැ. අනික ඇහැව්වත් පුදුමයි නිරංජලා කිසිම දවසක මට ඔය වගෙ දෙයක් කිව්වෙත් නෑ ඇහුවෙත් නැහැ. අනික එයා මට ඇඟේව්වෙ ඔයත් එයත් අතර සම්බන්ධයක් තියෙනව කියලනෙ.
“ඔය ඇත්තමද ඔයා කියන්නෙ.”
“අනේ සත්තයි සත්තයි. එහෙනම් අයියට මම දැන් ඇත්තම කියන්නම්. ඒ කාලෙ අයිය ගැන මගේ හිතෙත් අදහසක් තිබුණා. නමුත් ඔයාට වගෙ මටත් නුහුරු නිසා ඒක කියා ගන්න බැරි වුණා. අනික නෙරංජලා ඔයැයි එයයි යාලුයි කියලනෙ ඇඟව්වෙ. ඒ නිසා මට හිතේ අමාරුවෙන් හරි පසු බහින්නත් සිද්ධ වුණා. ඉන් පස්සෙ ඒ මගෙ පළමු පැතුම ඒ වගේ ම අද දක්වා අවසාන පැතුම වුණා. ඔය පත්තරේට මංගල දැන්වීම දාල තියෙන්නෙ අපේ අක්කා.
“දැන් ඔයා මොකද කියන්නෙ.”
“මොනව කියන්නද මම එක පාරට දහ දහස් වාරයක් කැමැතියි.”
“දැන් සුනිමල් අයිය කියන්නෙ මොකක්ද”
“මටත් කියන්න තියෙන්නෙ ඔයා කිව්ව එකමයි” අවුරුදු ගාණක් බලන් ඉඳල හරි මගේ මුල් ම අදහස එකම අදහස දැන් ඉෂ්ට වෙලා. මට හිතෙනව මම හරි වාසනාවන්තයි කියලා.”
ඉක්මනින් නැකත් හදල මංගල්‍ය කරන්න දෙගොල්ලන්ම ඒකමතික තීරණය කළා.
අපේ අම්මගෙන් නංගීගෙත් සතුටු කඳුළු ඒ දෙන්නගෙ දෙනෙත්වලින් කඩා හැලුණා. අපි සියල්ලන්ගෙන් සමු අරගෙන නැවත පිටත් වෙන්න හදද්දී චම්පා මා ළඟට ඇවිත්, “අයියේ නිරංජලා දැන් මාස තුනකට විතර ඉස්සෙල්ල එයාගෙ ඔෆීස් එකේ කොල්ලෙක් එක්ක යාලුවෙලා බැන්දා. වෙඩින් එකට මමත් ගියා. අපේ වෙඩින් එකත් විශේෂයෙන් මම නිරංජලාට කියනවා” යි කටපුරා සිනාසෙමින් කීවා.
ආශක්ත වීම.
කෙල්ලන්ට වඩා ගැහැණුන් කෙරෙහි කොල්ලන් ආශක්ත වන්නේ ඇයි දැයි විවිද තර්කණ ඔස්සේ මේ ගැන හැගුන දවසේ සිට මම සිතා බැලුවෙමි. මනෝවිෂ්ලේෂනයේ මතයට වඩා මට ඇත්තේ වෙනමම මතයකි. කෙල්ලන් සම්බන්දයෙන් ආදරයේ සිට දවසින් දවස, පඩියෙන් පඩිය අවසන් ඉලක්කය වෙත යායුතුය. දින ගණන තීරනය වන්නේ කොල්ලාගේ දක්ෂතාවය හා කෙල්ලගේ ආශාව මතය. ඇතැම් විට මෙම සුත්‍රයේ පිළිතුර දින දෙකක් වන අතර අවුරුදු හයක් ගෙවුනද පඩි දෙකක් පමනක් නැගගත් මිතුරන්ද අප අතර සිටී. ගැහැණුන් සමග සබදතාවය ඉක්මනින්ම අවසන් ඉලක්කයක් කරා රැගෙන යා හැකිය. එහිදි සූත්‍රය වන්නේ මුදල් හා එඩිතර කමය. ( කපටිකම / මෝඩකම )."මොනවද ඔච්චර කල්පනා කරන්නේ "ඒ මගේ අලුත ගෙනා මනමාලියයි.ඈ ඇන්දේ ජින්ස්ය, කැවේ වැඩිපුර පළතුරුය, බිව්වේ cool බීමය, ගියේ A/ C බස් වලය.බසයේ අසුනක් නොමැති නිසා , A/ C බසයේ දොර අසල සිටගෙන සිටින පිරිපුන් සිරුරක් ඇති කාන්තාවක් දෙස බලා සිටි මගෙන් ඈ අසයි."මොකුත් නෑ""මොකුත් නෑ... මම බලාගෙන , බැඳලත් පුරුද්ද අතහරින්න බැරිවුනා නේද ?""ඔයාට පිස්සු""ඔව් මට පිස්සු"දැස පියාගත් ඇය සිට් එකේ හිස තබාගත්තාය.මට දකුණු පැත්තේ ඇති ජම්පින් සිට් එකේ සිටින නාඹරගැටයා මා විනිවිදිමින් මගේ මනමාළිය දෙස නිතර බලයි. මම මගේ මනමාලියගේ කකුළට අත තබා ඇගේ මුහුණ සිඹගත්තෙමි. දොර ලඟ සිටිගෙන සිටින මා කථා නායිකාව මා හට මදසිනාවක් පැවාය. මම නැවතත් මනමාළියව සිඹගත්තේ දොර අසල සිටින ඈ දෙස බලාගෙනය."බොරු ආදරේ "මගේ මනාළිය මුමුණයි.ජම්පින් සිට් එකේ සිටි ගැටයා නැගිට ඉදිරියට ගියේය. මා කථානායිකාව ඉදිරියේ සිට පාවී මෙන් විත් මගේ ඇඟේ ගෑවි නොගෑවී ජම්පින් සීට් එකේ වාඩිවිය. ඇය මා දෙස බලා මඳ සිනහවක් පෑවිට මගේ හදවත නතරවුණි. නතරවුණු හදවත නැවත අපහසුවෙන් තම කාර්යය අරඹන බව දැනේ. නැත්නම් මට සිදුවන්නේ නන්නාදුන කාන්තාවක් දෙස බලාගෙන මිය යන්නටය.කෙනෙකුට තව කෙනෙකුගේ සිතුවිලි කියවිය හැකිනම් කොපමණ අපූරුද..?එසේ උවහොත් ලෝකය අවුලින් අවුලට යනු නියතය. දෙදෙනා එක ළඟ සිටින විට හොදින් ගලපා ගත හැකිය. ඇගේ දෙකළවා මාගේ මනමාළියගේ දෙකළවාට වඩා පිරිපුන්ය. පපුවද, උකුළද එලෙසම පිරිපුන්ය. දෙතොල් රතු කොට ඇති ඇගේ මුහුණෙහි අමුතු සිනාවක් රැඳී ඇත. මගේ මනාළියගේ මුහුණේ ඇති හැඟීම වටහාගත නොහැක. දුක, සතුට, කොපය මේ කිසිවක් ඇගේ මුහුණේ රැඳී නැත.මගේ වම් පැත්තේ ඇති හදවත දකුණු පැත්තට මාරුවී ඇත. ඒ නිසා මගේ කථා නායිකාවගේ හදවතේ ස්පන්දනය මගේ හදවතටම හොදින් දැනේ. මගේ හදවත් ස්පන්දනයද ඇයට හොදින් දැනෙන බව ඇගේ යටසින් බැලුම් වලින් මට වැටහේ.
"විකසිත වත කම්ලේ - නෙත් බමරුන් පැටලේ,බැල්මට නෙත් සගලේ - සිත සිතුවිලි සසළේ "
මගේ මනාළිය අප බසින තැනට පැමිණ ඇති බැවින් මගේ කකුළද මිරිකාගෙන මට පෙර නැගිට ඉදිරියට යයි. මගෙත් කථා නායිකාවගේත් දැස් එකිනෙක පැටලී කතාකරයි. නැවත හමුවන්නේ කෙලෙසදැයි මම මෙන්ම ඇයද සිතනු ඇත. අපූරු අදහසක් පහල විය. දෙපාරක් නොසිතා එය ක්‍රියාත්මක කලේය. අතේ තිබුණු ජංගම දුරකථනය වාඩිවී සිටි අසුන මත තබා මම ඉදිරි දොර ලඟට ආවෙමි. ඇය මම දෙසත් දුරකථනය දෙසත් සුපුරුදු සිනාවෙන් බලා, ජම්පින් සීට් එකෙන් පසු පස ඔසවා මම සිටි අසුනේ තැබුවාය.බසයේ දොර ඇරුනි. මගේ මනාළිය මා දෙස නොබලාම බසයෙන් බැස්සේය. නොබැස බැරි නිසා මමද බසයෙන් බැස්සෙමි. බසය ඉදිරියට ඇදෙයි. බසයේ ඇතුල හරියට පෙනෙන්නේ නැත." තමුසෙට මොකද වෙලා තියෙන්නේ"මනාළියගේ හඩේ කෝපය ගැබ්වී වේගය වැඩිවී ඇත.මට ඇය සමග වාදවල පැටලෙන්නෙට උවමනාවක් නැත. මම රුපියල් 9,000/- ක පමණ ඔට්ටුවක් අල්ලා ඇත. ඇය සිම් එක ගලවා දැමුව හොත් ඇයත් ෆෝන් එකත් දෙකම අහිමි වනු ඇත. නමුත් මේ ඔට්ටුව එළෙසින් පරදිනු ඇතැයි මට නොසිතේ.
ඔට්ටුවේ ජය පරාජය බලා ගැනීමට බුකියකට නොව දුරකථන කුටියකට යා යුතුය.
බලාපොරොත්තුව
නිර්මාල් දාබරේ(?)
සිළුමිණ සත්මඩල
බිරිය සමඟ වූ බහින්බස් වීමේ දී තමාගේ මුවින් නොකිව යුතු බොහෝ දේ එළියට ආ බැව් සිහි කරමින් තිවංක පසුතැවෙන්නට විය.
“තමුසෙ ඇක්සිඩන්ට් වෙලා සිහි නැතුව මාස ගානක් ඉද්දි තමුසෙගෙ අම්මලා ඔක්සිජන් ගලවන්න අත්සන් කළා. බඳින්න හිටපු මිනිහා විදිහට මමයි ඒක නතර කළේ.”
“එදා තමුසෙට මැරෙන්න දුන්න නම් මේ මොකුත් නැහැ.”
තිවංක තමන් පදවමින් සිටි කාරය බොරැල්ල මංසන්ධිය පසු කර ඇපෙක්ස් ආපන ශාලාව අසල නතර කළේ ය. එහි උඩුමහලට ගමන් කළ ඔහු බීර බෝතලයක් සහ තැම්බූ කඩල දීසියක් ඇණවුම් කර කෙළවරේ වූ මේසය වෙත ගියේ ය. ජංගම දුරකථනය ගත් ඔහු සුරංග ඇමතී ය.
“මචං මං බොරැල්ලෙ ඉන්නේ... උඹ කොහේ ද?”
“මම ඉන්නේ.... රාජගිරියේ, පොඩි වැඩකට ආවා”
“ඔය වැඩේ ඉවර වෙලා පුළුවන් නම් ඇපෙක්ස් එකට වරෙන්.”
කුමක්දෝ වරදකාරී හැඟීමක් තිවංකගේ හිත තුළ මෝදු වෙමින් තිබුණි. ඔහු බීර වීදුරුවෙන් උගුරු කීපයක් පානය කර තැම්බූ කඩල ඇට කීපයක් හපන්නට විය. නිෂාදි තමන්ගේ ජංගම දුරකථනයට එන කෙටි පණිවුඩ බලන්නට ඇත්තේ අද ඊයෙක සිට නොවේ යැයි තිවංක කල්පනා කළේ ය.
“කවුද යමුනා කියන්නේ....”
නිෂාදි අසන විට තමා සිටියේ කණ්ණාඩි මේසය අසල අතරින් පතර ඉදී තිබූ කෙස් ගලවමින් බැව් තිවංකට මතක ය.
“යමුනා... මොන යමුන ද?” යමුනා ගැන ඇසූ සැණින් ම තමන්ගේ ශරීරය පුරා විදුලි සැරක් දිව ගිය බැව් තිවංකට දැනුණ ද ඔහු ඒ බවක් පිටතට නොපෙන්වීමට වගබලා ගත්තේ ය.
“ෆෝන් එකෙන් ඔයා එස්.එම්.එස්. යවලා තියෙන යමුනා ගැන මං අහන්නේ?”
නිෂාදිගේ හඬෙහි සැර මෙන් ම වේගය ද වැඩි වී ඇත. තිවංක ඇගේ මුහුණ දෙස නොබලා ම පිළිතුරු සැපයී ය.
“ආ... ඒ අපේ ඔෆිස් එකේ වැඩ කරන ළමයෙක්...”
තමන්ගේ බිරිය තවත් ප්‍රශ්න අසතැයි තිවංක සිතූව ද සිදුවූයේ අනෙකකි.
තිවංකගේ ජංගම දුරකථනය ඔහු වෙතට විසි කළ නිෂාදි ඇඳෙහි ඉඳගෙන අඬන්නට වූවා ය.
“ඇයි මට මෙහෙම කරන්නේ... ඔයා වෙනුවෙන් මට දරුවෙක් දෙන්න බැරි හින්ද ද? ඇක්සිඩන්ට් එකෙන් පස්සේ මම බඳින්න කැමති නොවුණෙත් ඒ නිසා. ඔයත් ඉන්න තැනමයි ඩොක්ටර්ස්ලා ඒක කිව්වෙ...”
“සර්... තව මොනව හරි ඕනැ ද?” වේටර් කොලුවාගේ හඬින් තිවංක වර්තමානයට පැමිණියේ ය.
“ආ... මල්ලි... තව බියර් එකකුයි සිගරැට් තුනකුයි ගේන්න...”
තිවංක මේසය මත වූ දුරකථනය ගෙන වෙලාව බැලුවේ ය. එහි සවස හතර ලෙස සටහන් වී තිබුණි. තමන් උදයේ යමුනාට යැවූ කෙටි පණිවුඩය විවෘත කර ගත් ඔහු ඒ දෙස බලා සිටියේ ය.
- Good morning, අද නිවාඩු දවසේ ඔයා මොකද කොරන්නේ?
තමාගේ පණිවිඩයට ඇගෙන් ආ කෙටි පණිවිඩය මකා දැමුව ද තමා යැවූ පණිවිඩය මකා දැමීමට අමතක වූයේ මන්දැයි තිවංක කල්පනා කළේ ය. මෑතක සිට සිතෙහි පවතින හුදකලාව හා හිස් බව මකා ගන්නට කාර්යාලයේ දී ඈ සමඟ සුහද ව කතා කළ ද, ඉඳහිට කෙටි පණිවිඩයක් යැවූව ද තමා හා යමුනා අතර ඊට එහා ගිය සම්බන්ධයක් නැති බැව් තිවංක හදවතට එකඟ ව කල්පනා කළේ ය. ඒ බැව් නිෂාදි පිළිනොගත් නිසා රංඩුව දුර දිග ගියේ ය.
“මචං මං පරක්කු වුණා ද?” සුරංග මේසය අසලට එනතුරු ම තිවංක නොදුටුවේ ය.
“ආ... නෑ මචං, ඉඳගනින්” තිවංක සුරංගට අසුනක් පා වේටර් කොලුවා කොහේදැයි බැලුවේ ය.
“මල්ලි, තව ග්ලාස් එකකුයි, බෝතලයකුයි.”
“උඹ මොකක් හරි අවුලක වගේ” සුරංග තිවංක දෙස තීක්ෂණ බැල්මක් හෙළුවේ ය.
“මට තේරෙන්නෑ බං, මට මේ ජීවිතේ එපා වෙලා තියෙන්නෙ. මොකක්දෝ අවුලක් තියෙනවා මේ ජීවිතේ. මැරෙන්න හිතෙන වෙලාවල් තියෙනවා.”
“පිස්සු කෙළින්න එපා. මට නිෂාදි කතා කළා. අද වෙච්ච දේ ගැන කීවා. තරහට කෑ ගැහුවට නිෂාදි උඹව සැක කරන්නෑ.” සුරංගගේ කතාවට තිවංක කිසිවක් නොකියා නිහඬ විය. ඔහු සිගරැට්ටුවක් දල්වාගෙන එහි දුමින් පෙණහලු පුරවා ගත්තේ ය.
“ගල්ගමුවේ ඉඳලා පත්තරේක කුරුටු ගාන රස්සාවට ආපු උඹට, ගවර්න්මන්ට් ජොබ් එකක් හම්බ වුණේ... රාජගිරියෙන් ගේකුයි ඉඩමකුයි... තව කාරෙකකුයි හම්බ වුණේ කවුරු හින්ද ද?” සුරංගගේ බීර වීදුරුව පෙණ දමමින් ඇත. “උඹට ඔය ඔක්කොම හම්බ වෙලා තියෙන්නෙ නිෂාදි හින්දා. උඹ ඒ කෙල්ලගෙ හිත රිද්දනව නම් ඒක පාපයක්.”
“මම නිෂාදිව බැන්දේ ඔය කෙහෙල්මල් හින්ද නෙමේ. ඒකි මට අවංකව ආදරය කරපු හින්දා. අනික අද ඉන්න කෙල්ලො වගේ නිෂාදි කොල්ලොත් එක්ක හෝටල් කාමරවලයි චිත්‍රපට හෝල්වලටයි රිංගපු කෙල්ලෙක් නොවෙන නිසා... ඒත්... මොන දේ තිබුණත් ජීවිතේ කිසි සතුටක් නැතැ” යි කීමට සිත් වුව ද ඔහුගේ මුවින් ඒ වැකිය පිට වූයේ නැත. ඒ වෙනුවට ඔහු තවත් බීර බෝතලයක් සහ රයිස් එකක් ඇණවුම් කළේ ය.
“උඹ දවල්ට කෑවෙත් නෑ කියලා නිෂාදි කිව්වා.”
පසුදින තිවංක අවදි වූයේ නිවසේ දුරකථනය නාද වන හඬිනි. ඔළුව උස්සා ඇඳ අසල ටීපෝව මත තිබූ ජංගම දුරකථනය ගත් ඔහු එහි වේලාව බැලී ය.
“නමයත් පහු වෙලා. කමක් නෑ, අද ඉරිදනේ... අම්මෝ ඔළුව රිදෙන තරම්” තමාට ම කියා ගත් ඔහු ඇඳෙහි අනිත් ඇලයට හැරුණි. ඔහුට නිෂාදිගේ දුරකථන සංවාදය ඇසෙන්නට විය.
“අපි එහෙනම් හවස් වෙලා ඔය පැත්තෙ එන්නම් අම්මෙ”
“හා හොඳයි”
දුරකථන සංවාදය අවසන් වූ පසු නිෂාදි මුළුතැන්ගෙය දෙසට යන්නට ඇතැයි තිවංක සිතුවේ ය. පසුදින රාත්‍රියේ බොරැල්ලේ සිට වාහනය පදවාගෙන පැමිණියේ සුරංග බැව් තිවංකට මතක ය. විවාහය නිසා තමන්ට හිමි වී ඇති දේපොළ සහ නිල බලය සුරංග සතු නොවුණ ද ඔහු දරු පවුල සමඟ සතුටින් ජීවත් වනවා නොවේදැයි තිවංක මෙනෙහි කළේ ය. නිෂාදි මෙන්ම සුරංගද කියන ආකාරයට දරුවකු හදා ගැනීම මගින් ජීවිතය වසාගෙන තිබෙන හුදකලාව සහ හිස් බව පලා යනු ඇතැයි සිතීමට තිවංකගේ සිත දැන් දැන් උත්සාහ ගනිමින් ඇත. පසුගිය දින කීපයේ මෙන් ඇඳෙන් බැසීමට පෙර යමුනාට උදේට සුබ පතා යවන කෙටි පණිවුඩය නොයවා ඔහු ඇඳෙන් බැස මුළුතැන්ගෙය දෙසට පිය මැන්නේ ය.
“ආ... ඔයා නැගිට්ට ද? මං ඔයා නැගිටිනකම් තේ හැදුවෙ නැහැ.” නිෂාදි තිවංකට වතුර වීදුරුවක් දෙමින් පැවසී ය. ඒ වන විටත් ඇය උදේ කෑමට ඉඳිආප්ප තම්බා තිබ්බටු මැල්ලුමක් සාදා තිබුණි.
“හවස් වෙලා මහගෙවල් පැත්තෙ ගිහින් එන්න යමු.” තිවංකට තේ කෝප්පය පිළිගන්වමින් නිෂාදි කීවා ය. තිවංක කිසිවක් නොපවසා තේ උගුරක් තොල ගෑවේ ය.
බටහිර අහස රත්පැහැ ගැන්වීමට පටන් ගත් පසු තිවංකත් නිෂාදිත් රාජගිරියේ සිට අතුරුගිරියට යෑමට පිටත් විය. ඉරිදා දිනයක් වූ නිසා පාරේ වාහන තදබදයක් නොවීය. පසුගිය දින කීපයේ සිතේ පැවති හුදකලා බව පහව ගොස් ඇතැයි තිවංකට කාරය පදවන අතර සිතුණි. ඔහු නිෂාදි දෙස බැලී ය. ඇගේ මුහුණේ ද වූයේ බලාපොරොත්තු සහගත බැල්මකි.
“ඒ මනුස්සයා එන්නෙ මොනරාගල ඉඳලා කියලා ද අම්මා කිව්වෙ” තිවංක ඔවුන් අතර තිබූ නිහැඬියාව බිඳ දැමීය.
“ඔව්... ඔව්... ඒ එන මනුස්සයාගේ දුවටලු ළමයා හම්බ වෙන්න ඉන්නෙ. දුව බැඳලත් නෑලු. ඒ ගෑනු ළමයා අනාථ කරලා තියෙන්නෙ බැඳපු හමුදාකාරයෙක්. සුරංග තමයි ඩැඩීට මේ පණිවිඩය දීලා තියෙන්නෙ. දරුවා ලැබුණාම දෙමවුපියො විදියට අපේ නම් දෙන්න පුළුවන් කියලා සුරංග කියලා තියෙනවා.”
සුරංග මෙවැනි කතාවක් ඊයේ සවස කී බැව් තිවංකගේ මතකයට ආවේ එවිට ය. සුරංගගේ මිත්‍රත්වය පිළිබඳව ඔහුගේ සිතට දැනුණේ සොම්නසකි.
“සුරංග කියන්නෙ ඔයාගෙ හොඳ යාළුවෙක්. එයාගේ වයිෆ් තමරා ත් හොඳ කෙනෙක්. ළඟදි අපට එහෙ යන්නත් බැරි වුණානෙ.” නිෂාදිගේ කතාව තිවංක අනුමත කළේ ය.
නිෂාදිගේ මහගෙදර වත්තට කාරය ඇතුළු කරන විට නිෂාදිගේ මව ඉදිරියට පැමිණ ඔවුන් පිළිගත්තා ය.
“පුතේ මොනරාගල ඉඳලා අර කියපු මනුස්සයා ඇවිත් ඉන්නවා. තාත්තා සාලයේ එයත් එක්ක කතාව.” නිෂාදිගේ මව තිවංකට පැවසී ය.
තම මාමණ්ඩිය සමඟ සිටි මැදිවියේ පුද්ගලයා දුටු තිවංකට ඔහුගේ පියාව සිහි විය. මාමණ්ඩිය ඔවුන් හඳුන්වා දීමටත් ප්‍රථම මැදිවියේ සිටි පුද්ගලයා තිවංක සහ නිෂාදි දුටු සැණින් පුටුවෙන් නැගිට බුලත් කහට බැඳුණු දත් පෙන්වමින් ඔහු ඉතා යටහත් පහත්ව සිනාසුණේ ය.
“සිරිදාස නම් තේ බීවා. මං ඔය දරුවන්ට බොන්න මොනව හරි හදාගෙන එන්නම්.” නිෂාදිගේ මව මුළුතැන්ගේ දෙසට යන්නට වූවා ය. නිෂාදි ද ඈ පසුපසින් ඇදෙන්නට වූවා ය.
“පුතේ අපි දැන් කතා වුණේ හෙට අනිද්දට සිරිදාසගෙ දුවව මෙහෙ ගෙනත් නවත්ත ගන්න. තව මාස තුනලු තියෙන්න දරුවව හම්බ වෙන්න.” තම මාමණ්ඩියට සවන් දෙමින් තිවංක ඒ අසල පුටුවකට බර විය. පුටුවෙහි හිඳගත් තිවංක නැවත නැඟී සිටියේ කතාවට සම්බන්ධ වීමට පෙර කැසිකිළියට යෑමට අවශ්‍ය වූ බැවිනි. ඔහු ඉක්මනින් ම නානකාමරයට පිය මනින්නට විය. මුළුතැන්ගෙයට යාබදව පිහිටි නාම කාමරයට ඇතුළු වන විට ම මුළුතැන්ගෙය දෙසින් ඔහුට ඇසුණේ ඉකිබිඳුම් හඬකි. ඒ නිෂාදිගේ බැව් තිවංක හඳුනා ගත්තේ ය.
“තිවංක නැත්නම් අම්මලා මගේ ඔක්සිජන් ගලවන්න අත්සන් කරනවා...”
“දුව... කෝමා තත්වයෙ ඉද්දී ඩැඩී ප්‍රයිවට් හොස්පිටල් එකක වෙනම කාමරයක් අරන් නැවැත්තුවා. රජයේ ප්‍රයිවට් කියලා නෑ. මළමිනියකටවත් ඉන්න දෙන්නෙ නැති උන් තමයි ඕවගෙ ඉන්නෙ....”
“එතකොට උන් මාව...”
“ඕවා දැන් වැඩක් නැහැ දුවේ. දැන් ඒවා ඔක්කොම ඉවරයිනෙ...” පැමිණි ගමන යෑමට අමතක වූ තිවංක අසිහියෙන් මෙන් නැවත සාලය වෙත ගමන් කරන්නට විය. නිෂාදි සහ මවගේ දෙබස් ඔහුගේ දෙකන් තුළ දෝංකාර දෙමින් පැවතුණි. සාලය වෙත පැමිණි තිවංක කලින් සිටි පුටුව මත හිඳ ගත්තේ ය. මාමණ්ඩිත් සිරිසේනත් බොහෝ දේ සැලසුම් කරයි. තිවංකට ඒ කිසිවක් ඇසුණේ නැත.
සුනන්ද එරංග පෙරේරා
මා ඇගේ නිවසට පැමිණ සතියක් ගෙවී ගියත් ඒ මා ඇයට කතා කළ ප්‍රථම අවස්ථාව විය. අනෙක් දිනවල මගේ මේසයේ පසෙක තිබෙන වතුර ඩිකැන්ටරයත් වීදුරුවත් නොමැති වීමෙන් මේ ආගන්තුක නිවසේ මම අසරණ වී සිටියෙමි.
“ඕ... අත්තම්ම මාර්කට් ගියා. මතක නැති වෙන්න ඇති. ඉන්න මං ගෙනත් දෙන්නම්” චීන ස්වරයට හුරු සරල ඉංග්රීසි බසින් ඇය කීවා ය.
මෙයට පෙර ඇය ඉඳහිට මැන්ඩරින් බසින් අත්තම්මා සමඟ කතා කරනවා අසා තිබුණත් ඇය ඉංග්රීසිය හැසිරවීම තුළ කිසියම් ලාලිත්යයක් ඇතැයි මට සිතුණි.
මා සිටියේ සුන්දර වෙරළ තීරයකින් හා මලින් ගැවසුණු මංමාවතින් යුතු සිංගප්පූරුවේ මැරින් පැරඩ් ප්රදේශයේ ජපන් ඉදිකිරීමේ සමාගමක කාර්යාලයේ ය. එහෙත් ඒ සියල්ල අත්හැර දමා මාසයක කාලයක් සඳහා මට මැලේසියානු දේශසීමාවට සමීප ජුරෝන් නගරයට ආසන්න වියළි නිසරු ප්රදේශයක සේවය කළ යුතු විය. නිසැකව ම මාගේ සේවා විධායකයට මූල්‍ය ප්රශ්නයක් විසඳා ගැනීමට සිදු ව තිබුණි. එහි එක් පියවරක් වශයෙන් සේවකයන් තුන් සියයක් සඳහා වසරක සේවා කාලයක් රපෝර්තු කළ යුතු විය. ඒ අනුව කාඩ්පත් වේලාව සටහන් කරන යන්ත්රයට දමා සකස් කළ යුතු විය. මෙහි විශ්වාසවන්ත බව සඳහා ඔවුන් හුදෙකලා නිවාස සංකීර්ණයක කුඩා නිවසක කොටසක් ද දිවා කාලය සඳහා කුලියට ගෙන තිබුණි.
මහල් විසි දෙකකින් යුතු තුන් නිවාස සංකීර්ණයේ වැඩ නිම වී තිබුණේ එකක පමණි. එහි ද නව පදිංචිකරුවන් සිටියේ සීමිතව ය. ඉදිකරමින් පවතින නිවාස දෙකේ චීන මැලේ සහ කොරියන් කම්කරුවෝ සේවය කළහ. එහි අවන්හල් විවෘතව තිබුණේ උදේ සහ දිවා ආහාරයට පමණි.
ප්‍රථම දිනයේ එහි දහ අට වැනි මහලේ තිබූ නිවසට ගිය මා පිළිගත්තේ චීත්ත දිග කලිසමක් සහ අත් දිග හැට්ටයකින් සැරසී විශාල උපැස් යුවළක් පැලඳ සිටි කඩිසර චීන මැහැල්ලකි. ඇය චීන සහ මැලේ බසින් මට මිනිත්තු දහයක දිගු දේශනයක් පැවැත්වූවා ය. ඇය ප්‍රකාශ කළ පරිදි රාත්රි හතට මා වැඩ අහවර කළ යුතු විය. ආහාර පිටතින් ගත යුතු විය. දිනකට දෙවතාවක් මට තේ ලබා දෙන බව වැඩි දුරටත් ඇය කියා සිටියා ය. මැහැල්ලට නුදුරින් මා පිළිබඳ ව කිසිදු අවධානයකින් තොරව සිටි අවුරුදු දාහතක් පමණ වූ සිහින් කයක් ඇති දැරිය ඇගේ මිනිබිරියක විය යුතු යැයි මම විනිශ්චය කළෙමි. ඇය ස්ත්රියක කිරීම පිළිබඳ ව මම මැවුම් කරුවාට ශාප කළෙමි. ඇයට කිසිදු ආකාරයක පිරිපුන් අග පසඟ නොවී ය. මඳක් ඉදිරියට නෙරූ ඇගේ දත් රත් පැහැති දෙතොලින් වසා ගැනීමට ඇය යත්න දැරුවා ය.
මගේ රාජකාරිය ආරම්භ කර පැයකින් එය මට පහසු කටයුත්තක් විය. එහෙත් ඒකාකාරී ශබ්දයක් සහිතව වේලාව සටහන් කරන යන්ත්රයක් සහ කාඩ්පත් අතර ගෙවන ජීවිතය හෙම්බත් කරවන සුළු ය.
ප්රථම දිනයේ ම දිවා ආහාරය සොයා ගිය මා පත්වූයේ ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකට ය. එහි තිබුණේ ඌරු බොකු තැම්බූ කළු පැහැති හොද්දක් සමඟ සුදු බත් ය. මිරිස් රහිත පිළී ගඳ සහිත ආහාර ගත යුතු කෝටු දෙකකින් ය. මගේ අසරණකම දුටු එක් මැලේසියානු රියැදුරකු මට මෙසේ කීවේ ය.
“වම් පැත්තට මීටර් තුන් සියයක් යන්න. ඉන්දියන් බත් කඩ තියෙනවා.”
වතුර ඩිකැන්ටරයත් වීදුරුවත් මගේ මේසය මත තැබූ චීන යුවතිය බෙහෙවින් ආචාරශීලී වූවා ය.
“සමාවෙන්න වෙච්චි අතපසුවීමට.”
මිනිසෙකු ගැහැනියක පිළිබඳව සිතන සිතිවිලි වෙනස්වීමට ගතවන්නේ කෙතරම් කෙටි කාලයක් දැයි සිතන්නට ඒ මොහොතේ මම වෑයම් නොකළෙමි. එහෙත් මා අත්හළ මේ යුවතිය සතු ආත්මය මා සිතුවාට වඩා කෙතරම් වෙනස් ද?
“ඒකට කමක් නෑ. ඔය ගොල්ලන් මේ පැත්තෙම ද?” හදිසි මිතුරු සිතකින් මම ඇසුවෙමි.
චීනයේ උතුරු ප්රදේශයේ ෂැවොලිං පන්සලක් සමීප සහෝදර සහෝදරියන් අට දෙනෙකුගෙන් යුතු ගොවි පවුලක බාලයා ඇය විය. ඇය ලීසා ගෝ සූන් හෙන් නම් විය. උසුරු විය නො හැකි චීන නාමය වෙනුවට ඇයට ලීසා යන නම ලියා පදිංචි කරවූයේ අත්තම්මා ය. ඇයට අවුරුදු හතරේදී අත්තම්මා ඇයව සිංගප්පූරුවේ කතොන්වලට කැටුව ආවාය. ඇය පැමිණ පස් අවුරුද්දකින් සීයා මිය ගියේ ය. ඇය අකුරු කළේ සිංගප්පූරුවේ මැන්ඩරින් පාසලෙන් ය. ඉංග්රීසි විෂයට අමතරව ඇය චීන සාහිත්යය අධ්යයනය කළා ය. විශ්රාම යෑමට පෙර නගර සභාවේ සේවය කළ අත්තම්මා මහායාන බුදු දහමත් කොන්ෆියුසිස් දහමත් පණ මෙන් ඇදහුවා ය.
“මට අවුරුදු දහ අට පිරුණහම මේ නිවාස සංකීර්ණයෙ පරිපාලන ගොඩනැඟිල්ලෙ රස්සාවක් ලැබේවි.” ලීසා කතා කළේ මා ද දකින කවුළුවෙන් පිටත බලාගෙන ය. එහි දුර ඈතින් දැකිය හැක්කේ ජුරෝන් නගරයේ ගොඩනැඟිලි ය. මෑත මංමාවත්වල කුලී රියක් දැක ගත හැක්කේ ඉඳහිට ය. පොදු ප්රවාහන සේවයේ බස් රියක් විටෙක ගමන් කරයි. පහත් බිමේ කඩිසර ව ගමන් කරන්නේ චීන මැදිවයස් ඉක්මවූවන් ය. ලීසා ගේ අත්තම්මා එන්නේත් මේ පාර දිගේ ය.
කෙසෙල් ගසින් හෙවණ වූ එහි පසෙක තිබූ කුඩා නිවෙස මට සිහි කළේ අපේ ගමයි. අසිරිමත් සිංගප්පූරුවේ මේ ඉසව්ව කාංසියේම දියුණුව කරා හෙමිහිට ගමන් කරයි. කොන්ෆියුසියස් දහමත් පූර්ව ලාඕට්සේ දහමත් ෂැවොලිං පන්සලත් විෂයානුබද්ධව මා අධ්යයනය කර තිබූ නිසා ඒ පිළිබඳ ව මම ලීසා සමඟ කතා කළෙමි. බුදුන් වහන්සේ සහ මහා කාශ්යප රහතන් වහන්සේගෙන් උපන් සෙන් දහම ඉන්දියාවේ සිට චීනයේ ෂැවොලිං පන්සලට ගෙන යන්නේ බෝධි ධර්ම හිමියන් ය. උන්වහන්සේ නිත්‍ය සෙන් දහමේත් කරාතේ සටන් කලාවේත් ප්රථම ගුරුවරයා යැයි මා කීවිට ලීසා විස්මයට පත් වූවා ය. “ඔයා ඔච්චර දැනගෙනත් ඇයි මෙහේ ආවේ?” ඇය පෙරළා ප්රශ්න කළ විට මම නිරුත්තර වීමි. උපන් බිමේ ලක්ෂ ගණනාවක් වූ කාන්තාවන් සිංගප්පූරුවේත් මැද පෙරදිගත් ගෘහ සේවිකාවන් සේ සේවයේ යෙදෙන බව කීමට අවංකවම මම ලැජ්ජා වීමි. එ දින ආපසු යමින් ගමන මම බචර් පාරේ පොත් සාප්පුවකට ගොඩ වැදී ඕෂෝගේ බොහෝ නිර්මාණ සහිත ඉංග්රීසි බසට පරිවර්තනය කර තිබූ හයිකු කවි පොතක් මිලදී ගත්තෙමි. සැබැවින් ම මම අලුත් හැඟීමකින් පිබිදී සිටියෙමි. මගේ කාංසිය තුනී කිරීමට සුරතල් බසින් දොඩන දාහත් හැවිරිදි යුවතියක් හිඳී. ඇයට කියා දෙන්නට බොහෝ හයිකු කවි පමණක් නොව සෙන් කතා ද මම දැන සිටියෙමි. පසුදින උදෑසන මා රාජකාරිය සඳහා ලීසා ගේ නිවසට ගිය විට ඇගේ අත්තම්මා මා පිළිගත්තේ වඩාත් සුහද ගෞරවනීය හැඟීමකින් ය. උණු කෝපි කෝප්පයක් මට පිරිනැමූ ඇය තොර තෝංචියක් නැතිව දොඩන්නට වූවා ය. “අත්තම්මා කුංපූට්සේ තුමා ගැන දැන ගන්න කැමතියිලු” ක්රි.පූ. 531 දී ෂුං ලිං හෝ ගේ පුතෙකු වශයෙන් උපන් කොන්ෆියුසියස් තුමාට ඇතැම් චීන ජාතිකයන් කියන්නේ කුං පූට්සේ හෝ කෞපූෂු කියා ය. එතුමාගේ හිම සහ සරත් ඍතු වර්ණනාවට මම බොහෝ ප්රිය කළෙමි. ගැඹුරු නොවූ එතුමාගේ දහමේ මා කියූ දෑ යළි අත්තම්මාට කියා දුන්නේ ලීසා ය. එපා කරවන සුලු හැඟීමකින් තිබූ නිවස හදිසියේම මා වෙනුවෙන් ප්රිය මනාප සුහදශීලී පරිසරයකින් යුක්ත විය.
ලීසා හයිකු කවි පොත බාර ගත්තේ අතිමහත් උද්යෝගයෙනි. මෙතෙක් නිහඬව සිටි ඇය බෙහෙවින් ම කියවන්නට වූවා ය. අද දින මා දිවා ආහාරය සඳහා පිටත නොයා යුතු යැයි සඳහන් කළ අත්තම්මා කංකුං සහ කුකුළු මස් මිශ්රිත දිගටි බතක් මට පිරිනැමුවා ය. මා නිසා ම මිරිස් එක් කළ එම ආහාරය මට ප්රිය මනාප විය.
මගේ පමණක් නොව ලීසාගේ කුඩා ජීවිතය ද මුළුමනින් ම වෙනස් විය. මම උපරිම ලෙස ආචාරශීලී වූයෙමි. රාග සිතක් ඇති නොකළ ලීසා හා දොඩන්නට මම ප්රිය කළෙමි. ඇය ඉක්මනින් මගේ රාජකාරිය ඉගෙන ගත් අතර මා දිවා ආහාරයට පිටත යන විටත් මා සේවය නිමා කර මගේ නවාතැන් පළට ගිය විටත් ඇය මා වෙනුවෙන් මැනවින් සේවය කළා ය. ඔබ විශ්වාස කරන්නේ ද? සිතිය නොහැකි ලෙස මම හුදකලා චීන පවුලක සාමාජිකයෙකුව සිටියෙමි.
හයිකු කවි කියවා ලීසා ඉක්මනින් රසවතියක ව සිටියා ය.
“මං ආසයි රෑ කෙවිලියගේ කවියට” ඇය කියන්නී ය.
“කියන්න බලන්න” මම කීවෙමි. “රෑ කෙවිලිය රැය පුරා කුකුළොත් හඬලයි” රැයේ මේ කවිය කියවූ විට රෑ කෙවිලිය රැය පුරා තොර තෝංචියක් නැතිව ගීය ගායනා කරනු ඇයට ඇසුණු බව ඇය කීවා ය.
අපේ කතාබහ ලීසා අත්තම්මාට පරිවර්තනය කර දෙයි. අත්තම්මා චීනයේ ජන කවියක් අපූරු ලෙස ගායනා කළා ය.
“චෞ අධිරාජයාණෙනි මුදවන්න මා අන්තඃපුරයෙන් ඔබට මා අමතකව ගිය තුන් අවුරුද්ද පුරා බලා හිඳී මා එන තුරු අපේ ගෙම් ගොවියෙකු” කවිය කියූ අත්තම්මා ඒ තුළ තිබූ හාස්යයත් සංවේගයත් මැනවින් දැන සිටියා ය.
ලීසා ගේ සහායෙන් මම මගේ රාජකාරිය තුන් දිනකට පෙර මැනවින් හමාර කළෙමි.
“ඔයාට විවේක තියෙන හින්ද අපි යං ටයිගර් බාම්වල හිනාවෙන බුදු හාමුදුරුවො බලන්න” එසේ යෝජනා කළේ ලීසා ය.
ආගමික රිද්මයකින් යුතු එම උද්යානයට අප ගියේ කුලී රියකිනි. පිවිසුම් දොරටුවේ හිඳුවා ඇත්තේ විශාල උදරයක් සහිත මහායාන සිනහාවෙන බුදුන් ය. පැරණි චීන අධිරාජයන් දුන් දඬුවම් එහි මූර්තිමත් කර ඇත්තේ ය. අත්තම්මා හුදකලාව භක්තිමත්ව සිටියා ය. ආපසු එමිං ගමන ඔවුන් ශ්රී ලංකාගම පන්සලට කැඳවාගෙන ගිය මම හවස සෙරන්ගුන්හි මාරි අම්මා කෝවිලේ තේවාවට ද සහභාගි කරවූයෙමි. “හරි අපූරු ගමනක්” රියේ මා සමීපයෙන් ම හිඳි ලීසා කීවාය.
තවත් දෙදිනකින් මම ඔවුන්ගෙන් සමුගතිමි. එය සමුගැනීම් අතර බොහෝ සෙයින් මගේ සිත් පෑරවූ සමුගැනීමක් විය. මම දණ ගසා අත්තම්මාට වැඳ වැටුණෙමි. ඇය විස්මයෙන් එය ඉවසුවා ය. ඇය දිගු වාක්‍ය සහිතව චීන බසින් මට ආශිර්වාද කළා ය. කිසියම් නිශ්චිත ඉමකට ගොස් එය අහවර කළ පසු ඉන් එහාට යෑම විකාල විසිඛාවක් වන බව මම දැන සිටියෙමි. උතුම් මතකය සඳහා තිබිය යුත්තේ සීමාවන්තික බවකි. එය විසිර යා නොදී රැකගත යුතුය.
“ආයෙ අපි හමුවෙන්නෙ නෑ” මම හෙමිහිට කීවෙමි. ලීසා නිර්භීත ලෙස අත්තම්මා ඉදිරියේ දී ම මගේ පපුවට හිස තබා වැලපෙන්නට වූවා ය. එය රාගයෙන් තොර ළෙන්ගතු ප්රේමයක අවසානය බව මම හඳුනාගෙන සිටියෙමි. ඇගේ පුසුඹැති හිසකෙස් අතර මගේ දකුණතේ ඇඟිලි තුඩු හෙමිහිට ගමන් කළේ ය.
“අඩන්න එපා. ඔහොම තමයි ජීවිතේ හැටි” මම කීවෙමි.
“ඔයා මට හයිකු කවියක් ම වුණා. දැන් ඉස්සරටත් වඩා මට මහා පාළුවක් දැනේවි” ලීසා ගේ නිල්වන් දෙනෙතේ කඳුළු පිරිලාය.
එදා ලීසාගෙන් මා සමුගත් දා හැන්දෑව තවමත් මට මතකයි. දුරු රට වුව ද අහස කොයි ඉසව්වේත් එක වගේ ය. ගොම්මනට පෙර අහසේ මන්දස්මිතය තුනී වෙමින් තිබුණි. ගොම්මන බිඳින්නට තරු පායා ආවේ බොහෝ වේලාවක් ගතවූ පසු ව ය. ඒ තරු යායේ කොතැනක හෝ මගේ කාංසියේ පෙම්බරිය වූ ලීසා හිඳින බව අදත් මම දනිමි.
--
ශක්තික සත්කුමාර
("පතොක් කටු" කෙටි කතා සංග්‍රහයෙන්)
සිළුමිණ සත්මඩල
සති අන්ත නිවාඩුවට නිවසට පැමිණි මට දින තුනක් වැඩිපුර නිවසේ රැඳී සිටීමට සිදුවිය. ඒ පතොක් කටුවක් ඇනී දකුණු කකුල ඉදිමුණු නිසා ය.
"කොහෙද ඉතින්, කොල්ලොත් එක්‌ක නටන්න ගියහම සිහියක් තියෙන එකක්‌යැ. ඉදිමුණු කකුල උණුවතුරෙන් තවමින් අම්මා කීවාය. පතොක් කටු එතරම් විස යැයි මා නොසිතුවේය. එය දැන සිටියා නම් පතොක් පඳුර අස්‌සට ගිය රබර් බෝලය ගැනීමට මම සෙරෙප්පු නැතිව නොයන්නෙමි. කකුලේ ඉදිමුම බැස ගිය පසු මම නැවත සරසවියට යැමට තීරණය කළෙමි. මට අතපසු වූ දේශන සියල්ලගේම සටහන් ඒ වන විටත් අනුත්තරා සොයා ගෙන පිටපත් කළ බව පවසා තිබිණි. මට ඈ ගැන ඇති වූයේ දුකකි. අනුත්තරා මා වෙනුවෙන් කරන කැප කිරීම් අපමණය. බෝඩිමක නතර වී සරසවි දේශන සඳහා සහභාගි වූ මා කෑම පිටතින් ගත්තේ රාත්‍රි ආහාරය සඳහා පමණයි. නේවාසිකාගාරයේ නතර වී සිට අනුත්තරා චමරියක් දමාගෙන යෙහෙළියන් සමඟ ආහාර පිසූ අතර ඈ උදේට සහ දවල්ට බත්මුල් දෙකක් බැඳගෙන එන්නීය.
"කටුවා, අනුත්තරා උඹගේ නෝට් කොක්‌ක ද? බත් කොක්‌කද?" බෝඩිමේ මිතුරෝ විටෙක මට විහිළු කළහ.
"නෑ......... සිරා කොක්‌ක........" එවිට මම පිළිතුරු දෙමි.
"කටුවට ගිය කල......·"
සැබෑ ලෙසම වසර දෙකක සරසවි ජීවිතය තුළ අපි අනාගතය පිළිබඳව බොහෝ දේ සැලසුම් කළෙමු.
.................................
මා ගල්ගමුවට පැමිණියේ කටුපිටියේ සිට එන අවසන් බස්‌රියේය. අනුරාධපුරයේ සිට ඇල්ල හරහා කොළඹ දිවෙන බසයකට මම ගල්ගමුවෙන් ගොඩවන විට සවස පහ පමණ වී තිබිණි. රාත්‍රියේ බෝඩිමට ගොස් හෙට උදයේම දේශන සඳහා පැමිණීම මගේ අරමුණ විය. බස් රියේ එකදු ආසනයක්‌වත් හිස්‌ව නොතිබීම මගේ කනගාටුවට හේතු විය. වටපිට බලනවා දුටු කොන්දොස්‌තර මා ළඟට පැමිණියේ ය.
"මල්ලී කොහාටද?"
"කැලණිය කැම්පස් එක ළඟට එකක්"
"කීපදෙනෙක්‌ම කුරුණෑගලින් බහිනවා. සීට් එකක් ගන්න පුළුවන්." ඔහු ඉතුරු සල්ලි දෙන ගමන් පැවසීය. ගමන් බෑගය රැක් එකේ රැඳවූ මම කණුවකට හේත්තු වුණෙමි. බස් රියේ කැසට් යන්ත්‍රය ක්‍රියාත්මක වී තිබිණි.
පසුපස අසුනක කෙළවරට වන්නට ලා දම් පැහැති ගවුමකින් සැරසී සිටි යුවතියක් කවුළුවෙන් පිටත බලාගෙන සිටිනවා මා දුටුවේ එවරය. එක්‌වරම කවුළුවෙන් දෑස් මෑත් කළ ඇය මා දෙස බලා සිනාසුනාය. ඇගේ බෙහෙවින් ම සුන්දර දිගු දෑස, ඉතාම පැහැදිලිව පිහිටා තිබෙන දෙබැම සහ දිග නාසය දෙස මම බොහෝ වේලාවක් බලා සිටියෙමි. හදිස්‌සියේ යමක් මතක් වූවාක් මෙන් මම මගේ මුහුණට සිනහවක් ආරූඪ කර ගතිමි. මඳ අඳුර විනිවිද පවනක් බඳු වේගයෙන් බස් රිය ඉදිරියට ඇදෙමින් ඇත. මම හිමින් සීරුවේ ඈ සිටි අසුන අසලට ගොස් සිට ගත්තෙමි. දිගු මුහුණ, රන්වන් ගෙල, අඩක් නිරාවරණිත ළය මඬලේ බෙදුම දෙස ඇයට හොරෙන් නැවත නැවතත් මම බලන්නට වීමි.
"මේ ගඟ මේ දුරු කතර ගෙවා
ඇයි මෙතැනින් සයුරේ වැටුණේ
මේ හැටි දුර පියමං කරලා
ඇයි මම ඔබ ළඟ නතර වුණේ."
කැසට් යන්ත්‍රයේ හඬ අඩු වී නොඇසී ගියේය.
"කුරුණෑගල බහින අය නැගිටල දොර ළඟට එන්න.."
"කැම්පස් එක ළඟින් බහින මල්ලී ඇවිත් මේ ඉස්‌සරහ සීට් එකේ ඉඳගන්න."
..........................
මා උදයේ අවදි වූයේ මගේ ජංගම දුරකථනය නාද වන හඬිනි. ඇමතුම අනුත්තරාගෙනි
"හෙලෝ"
"ගුඩ් මෝනිං"
"ඊයේ රෑ නිදා ගද්දී එකොළහ විතර වුණා."
"........................."
"මම දවල් වෙලා කැම්පස් එකට එන්නම්."
"කීවහම අහන්න........ මම දවල් වෙලා එන්නම්. ඔයා ලෙක්‌චස්‌වලට යන්න."
මම දුරකථනය ඕෆ් කර දැමුවෙමි. නැවතත් දැස් පියා ගතිමි. රාත්‍රියේ එකිනෙකට එකක් අසම්බන්ධව දුටු විකාර සිහින මගේ සිත නොසන්සුන් කර තිබිණි. ඊයේ සවස කොළඹ බස් එකේ දුටු යුවතිය මට මැවී පෙනෙන්නට විය. ඇය සමඟ සිටි වයස්‌ගත පුද්ගලයා ඇගේ පියා විය හැකි යැයි මම අනුමාන කළෙමි. ඔවුන් නිට්‌ටඹුව නගරයෙන් බසින විට රාත්‍රි නමයට පමණ ඇතැයි මම අනුමාන කළෙමි.
"කටුවා මොකද බං උදේම මළ පැනල. අනුත්තරාට නේද තක දැම්මේ......" වැවා ඇඳෙන් බිමට බසිමින් ඇසුවේය. මම කිසිත් නොකීවෙමි.
"කටුවට ඇනිල තියෙන්නේ පතොක් කටුවක් නෙමේ කොහිල කටුවක්." සූරියාගේ කියමනට මට ද සිනහ නොවී සිටිය නොහැකි විය.
එදින මම දේශනවලට හෝ සරසවියට හෝ නොගියෙමි. කකුල ඇදුම් කන බව කියා බෝඩිමට වී සිටීමට තීරණය කළෙමි. මගේ මනසෙහි හොල්මන් කරන්නට වූයේ ඊයේ බසයේ දුටු සුන්දර යුවතියයි. පෙනුමෙන් ඈ තවමත් පාසල් යන වයසේ එකියක් යැයි මම අනුමාන කළෙමි. නැවතත් ඇය දැකීමට ඇත්නම්...... මට අනුත්තරාව සිහිවී සියුම් ලැඡ්ජාවක් ඇතිවිය. පතොක් කටුව ඇනුණු කකුල රිදුම්කන නිසා මා අද නොපැමිණෙන බව බෝඩිමේ මිතුරන්ගෙන් ඇය දැන් දැනගෙන ඇතැයි මම කල්පනා කළෙමි. මම මගේ ජංගම දුරකථනය අතට ගත්තෙමි. උදයේ මා ඕෆ් කළ අයුරින් ම එය ඇත. ටික වේලාවක් ඒ දෙස බලා සිටි මම එය මේසය මතට විසි කර නැගී සිටියෙමි. බෝඩිම පුරා මූසල බවක් අරක් ගෙන ඇතැයි මම කල්පනා කළෙමි.
............................
මා නිට්‌ටඹුව නගරයෙන් බසින විට දහවල් වී තිබිණි. ටික වේලාවක් ඔහේ වීදි දිගේ ඇවිද ගිය මම පෙර දින දුටු යුවතිය බසයෙන් බැසගත් ස්‌ථානයට වී බොහෝ වේලාවක් සිටියමි. ඇගේ ගම අනුරාධපුරය ද? නිට්‌ටඹුව ද? මීට පෙර මම ඇයව නුදුටුවේ මන්ද? ඇය කීපවරක්‌ම මා දෙස බලා සිනාසුණා නොවේද?
"කුරුණෑගල,... ගල්ගමුව.... තලාව....... තඹුත්තේගම...... අනුරාධපුරේ.......... අනුරාධපුරේ........ නගින්න........... නගින්න."
මා සිටි තැනට මඳක් ඔබ්බෙන් නැවැත් වූ බස් රියට එම ස්‌ථානයේ සිටි කිහිපදෙනෙක් නගින්නට වූහ. දකුණු කකුල රිදුම් දෙන්නට වූ නිසා බස් නැවතුමේ වූ ගල් බංකුවකට මම බර වුණෙමි. බසයේ දුටු යුවතියගේ කෙස් වැටිය අනුත්තරාගේ කෙස් වැටියට වඩා බොහෝ සෙයින් දිගු යැයි මම අනුමාන කළෙමි. ඇය පැය භාගයකට පමණ වරක්‌වත් කොණ්‌ඩ කටුව ගලවා තොල් දෙකෙහි රඳවාගෙන කොණ්‌ඩය ළය මතට ගෙන සකසා නැවත පස්‌සට දමා කටුව ගසනවා මම කිහිපවරක් ම දුටුටෙමි. ඇගේ කොණ්‌ඩ කටුවෙහි වූ කහපාට ප්ලාස්‌ටික් මල පතොක් මලකට සමාන විය.
"මම මේ කරන දේ තේරුම කුමක්‌ද? අනුත්තරා තාම උදේට කාලත් නැතිව ඇති." දකුණු කකුලෙන් පටන් ගත් වේදනාව හදවත දවාගෙන ඇස්‌වලින් මතුවිය.
"මහත්තයා පනා තියෙනවා....... කොණ්‌ඩ කටු තියෙනවා ගන්නවද?" විවිධ වර්ණයේ විවිධ හැඩතලවල පනා සහ කොණ්‌ඩ කටු පුරවාගත් කවර කීපයක් අතින් එල්ලාගත් වෙළෙන්දෙක් මා ඉදිරිපිට විය. මම කොණ්‌ඩ කටු පිරික්‌සන්නට වීමි.
"මේක දෙන්න......" මම කහ පැහැති කුඩා පතොක් මලක හැඩය ගත් ප්ලාස්‌ටික් මලක් සහිත කොණ්‌ඩ කටුවක් මිලදී ගතිමි. එය කලිසම් සාක්‌කුවට දමාගත් මම පාර මාරු වී කොළඹ බසයක එල්ලීමි.
"ඇයි මට මෙහෙම කරන්නේ........? "අනුත්තරා මගේ පපුවේ හිස හොවාගෙන අඬන්නට විය. මම මෘදු ලෙස ඇගේ හිස අත ගාන්නට වීමි. හිරු කැලණි විහාරය දෙසට පල්ලම් බසිමින් ඇත. විලෝ ගස් අතර ඇත්තේ අඩ අඳුරකි.
ශක්‌තික සත්කුමාර
("පතොක් කටු" කෙටි කතා සංග්‍රහයෙන්)
සිහින තාරකාව
සුනන්ද එරංග පෙරේරා
සිළුමිණ සත්මඩල
"ෂොපින් බෑග් එකේ පාන් බාගයක් ඇති නංගියේ කාහං. දවල්ට ඔය මොනව හරි රත්කර ගනිං. නාන ගමං අනේ නංගියෙ මගෙ චීත්ත කෑලි දෙකත් හෝදල දාපං”
නිල් මල් චීත්තයකින් සහ රතු පාට හැට්ටයක් ඇඳ සිටින මැටිල්ඩා පැහැපත්ය. මහතය. තිස්තුන් හැවිරිදි ඇගේ වතේ ඇත්තේ නරුම රාග සිතක් ඇත්තෙකු ගේ සිත කුප්පන සුලු ගෑනු කමකි. හැට්ටයට ඔරොත්තු නොදෙන තරමට ඇගේ පියයුරු මහතය. වැල්ලේ පොල් ගසක් යට ප්‍රකෘතියෙන් තොරව කිරා වැටෙන්නෙකු පවා ඇගේ ගමන දෙස තිගැස්සී බලයි.
“අල්ලපං නංගියේ මේ කීර වට්ටිය”
මධුෂාණි ගේ දෙනෙතේ ඇත්තේ සඟවාගත් කඳුළකි. නිදි වැරූ රාත්‍රියේ ඇය කිසිම සිහිනයක් නොදුටුවාය. එහෙත් හැබෑවටම පැතූ සිහිනය බිඳී යන අයුරු ඇය ප්‍රත්‍යක්ෂ කරමින් සිටියාය.
“කෝ නංගියෙ රොෂානය?”
මැටිල්ඩා දන්නා දේ තමන් නොදන්නා බව හැඟවීමට ඇය හිස වැනුවාය.
“අල්ලල දාපං බාං. දැන් ඉන්න කොල්ලො ඔහොම තමයි. ඇරත් උඹලත් තදියමටනෙ ආවෙ නංගියෙ. නැතත් ඌ හැන්දෑවට මොන කිරි මෙලෙන් හරි කොත්තුවක්වත් ගේනවනෙ.”
මැටිල්ඩා අසල්වාසීන් සමඟ කියවමින් යන ගමන බොහෝ දුරකට ඇහෙයි. ස්ත්‍රී නිමිත්ත විශේෂණය කරගත් ඈ සමඟ කතා කරන්න බොහෝ උන් කැමැතියි.
වැටෙන්නට යන තරං වාරු රහිතව ගිය මධුෂාණි එක් කුඩා කාමරයක් ඇති කුඩා ලෑලි ගෙයි පිටුපස දොර සමීපයේ ඇති පොල්කොටය උඩ වාඩි වූවාය.
සමීපයේ ඇති පොල් රුප්පාව මායිමේ පුළුලැති වෙරළ තීරයෙන් එහා උදෑසන මුහුද නිල් අළු පැහැයෙන් යුතුය. දුර සිතිජය ඇඳිරියි. ඈත මුහුදේ වැසි වැටෙනවා විය හැකිය.
නුදුරු පැල්පතකින් ඊයක් මෙන් එළියට පැන්න ගැහැනියක් ඒ ඉසව්වේ වැල්ලේ හිඳින කොලු පැටව් රෑනක් සමීපයට කඩා වැදුණාය.
“හත් අවලං අළුගුත්තේරු හැත්ත. අදත් ගිල්ල ද මගෙ වියන් රෝල් දෙක. කාපියව් ගොහුං තොපෙ බොණ්ඩිගෙ... මං කිව්ව කියල හිතා ගනිල්ල”
කොලු රෑන සිනාසෙමින් පලා යති. ගෙවී ගිය දින කීපයේ මධුෂාණිට ඒ ගැහැනිය මතකය. ඇය කාලවර්ණය. කෙට්ටුය. මුහුණ වියළී ගිය කුරුම්බ ඇට්ටියක් සේ උල්ය. ඇය බොහෝ විට හනස්සක් ගෙන කාට හෝ බැණ වදිමින් වැල්ලේ හක්කලං කරයි.
මුහුද ඒකානමය හඬින් වෙරළට ඇදෙයි. ඒ මුහුදට තමා දින හතරකට පෙර පෙම් කළ බව ඇය සිහි කළාය. රොෂාන් තමා ප්‍රථමයෙන් කැඳවාගෙන ගියේ වෙරළේ වැටකෙයියා හෙවණකටය.
“ඒරොප්පෙ ගියත් සිද්ධ වෙන්නෙ මේ දේමයි මධු.” රොෂාන් මධුෂාණිගේ නළල සිප ගනිමින් කීවේය.
වියන් බැඳි පුෂ්පමාලා දාමයෙන් සැරසූ ශ්‍රී යහන් ගබඩාවක් යැයි සිතූ වැටකෙයියා හෙවණේ දී දාහත් විය ඉක්මවමින් සිටි මධුෂාණි ගැහැනියක වූවාය. වැලි තලය වසා පැතිරී ගිය වැල් ගාල අතර සිඳගත් කන්‍යාවෙන් ගලා ගිය රුධිරය උණුසුම් විය.
“මට ආදරෙයි ද?” තෘප්තිමත් පිබිදුණු දෑසින් මධුෂාණි ඇසුවාය.
“ඔව් අහස තරම්” රොෂාන් කීවේය.
“අහසේ තරු දිලිහෙනව.”
“ඔයාගෙ ඇස් දෙකෙත් තරු එළිය තියෙනව.”
එදා රෑ ඔවුන් දෙදෙනාට මැටිල්ඩා බිත්තර ආප්ප සමඟ උණු තේ පිරිනැමුවාය.
“ගෙදර අය කලබල වෙලා මාව හොයනව ඇති.”
“හොයන්න බෑ. ඒකනෙ මං මෙහෙට එක්කං ආවෙ” රොෂාන්ගේ හඬ සැහැල්ලුය.
පෙරදා රාත්‍රියේ සිට මධුෂාණි සිහිපත් කළ තමාගේ මවුපියන් ද නංගී ද මල්ලී ද ඇය අලුතෙන් මේ මොහොතේ සිහිපත් කළා ය.
සාමාන්‍ය පෙළ විභාගය ලියා ඇය තුනපහ පැකට් කළ ආයතනයක සේවයට ගියාය. අහිංසක පෙදරේරුවකු වූ පියාත් ගෘහිණියක වූ මවත් ඉක්මවා ඇය නිවසේ ආධිපත්‍යය හිමිකර ගත්තාය. ඇය රූපවාහිනියේ බොහෝ ටෙලි නාට්‍ය බැලුවාය. භෞතික ලෝකයේ ප්‍රේමය හැර සකල විධ ප්‍රශ්න අමතක කර දමා සිටි එහි සිහින කුමර කුමරියන් ගේ චරිතවලට ඇය ආදරය කළා ය. ඒ නම් නිළියන්ගේ පෞද්ගලික ජීවිතයේ සුඛ දුක්ඛයන් ඇය කඳුළින් යුතුව කියවූවාය. විටෙක ඇය ගුවන් විදුලිය සේවාවක ඉංග්‍රීසි වදන් සහිතව නිවේදනය කරන අයියලා සමඟ දුරකථනයෙන් කතා කර හුරතල් විය. ගීත ගායනා කිරීමට නොහැකි වුවත් ඇය සිතුවේ තමා මහා ගායිකාවක ලෙසය.
නගර සභා පිටියේ සංගීත සංදර්ශනයේ ඇය ඉදිරියේ හුදකලාව සිටි රොෂාන් සමඟ ඇය ඉක්මනින් මිතුරු වූවාය. පවුලේ අයට පිටුපසින් සිටි ඇයට රොෂාන් මෙසේ කීවේය.
“හෙට උදේ අටට පෝස්ට් ඔපීස් එක ගාවට එන්න.”
ඇය කිසිවක්ම නොකීවාය. එහෙත් ඇය එන බව රොෂාන් දැන සිටියේය.
“මං ජෙම් බිස්නස්වලට රත්නපුරේ ආවෙ. කම්මැළි හින්ද මියුසිකල් ෂෝ එකට ගියේ.” රොෂාන් කීවේය.
“ආවයින්නෙ මාව හම්බුඋණේ.” මධුෂාණි කීවාය.
හෝටලයකට ගොඩ වැදී හිම කිරම බුදින ගමන් රොෂාන් පියා මොරටුවේ ව්‍යාපාරිකයෙකු වන බව සඳහන් කළේය. සංගීත කණ්ඩායමක ගායකයකු වූ ඔහු ඇය කැමතිම ගීත ඛණ්ඩ දෙකක් ගායනා කළේය.
“මට ඔයා නැතිව ආපහු යන්න බෑ රත්තරන්. තියෙන දෙයක් අරන් එන්න.” උතුරා යන ආදරයෙන් රොෂාන් කීවේය.
එයට එකඟ වීමට තරම් වූ මෘදු සිතක් ඇයට විය. ජීවිතය පිරී යා යුත්තේ පළිගු මිණිමුතු වැනි සිහිනවලින්ය. මතු මත්තේ ධනවත් ගායකයකුගේ සහකාරිය වන අයුරු ඇය සිහි කළාය. එවිට කලා සඟරාවල ඇයගේ සම්මුඛ සාකච්ඡාවන් පළ වෙනු ඇත.
පසු දින උදෑසන මධුෂාණි ආවාය. මැණික් ව්‍යාපාරයට මුදල් යොදවා තිබූ හෙයින් රොෂාන් ඇගේ මාලය උකස් කර රුපියල් පහළොස් දාහක් ලබා ගත්තේය.
“අපි දැන් ගෙදර ගියොත් ප්‍රශ්නයක් වේවි. ඒ හින්ද චුට්ටකට මං ඔයාව හංගල තියා ගන්නම්.” රොෂාන් දුර දක්නා බුද්ධියෙන් යුතු යැයි මධුෂාණි සිතුවාය.
දෙදෙනාම වැල්ලේ මැටිල්ඩාගේ ගෙදරට ආවේ ඒ අයුරින්ය.
දින දෙකක් මධුෂාණිගේ පහසේ සිටි රොෂාන් තෙවැනි දින මෙසේ කීවේය.
“ගෙදරට යන්න විදිහක් නෑ. ආරංචි වෙලා”
රොෂාන් එදා ගියේ මධුෂාණිගේ කරාබු දෙක රැගෙනය. ඔහු මේ ඉසව්වට ආගන්තුක නොවන බව ඇය මේ වන විට වටහා ගනිමින් සිටියාය.
“ඔයා මට කිව්වෙ බොරු නේද?” මධුෂාණි සෘජුවම ප්‍රශ්න කළාය.
“ඒ කිව්වෙ?”
“ඔයා මේ වැල්ලෙම නේද?”
යුවතියක වශී කරගත හැකි සිනහවක් රොෂාන්ගේ දෙතොලේ විය.
“ඔයා ආදරය කළේ මටනේ.”
ධනවත් තරුණයකුගේ අත ගෙන මෝටර් රියකින් ගමට යෑමේ ඇගේ ප්‍රාර්ථනාව දෙදරා ගොස් හමාරය. එහෙත් හැම ගැහැනියකටම උචිත කඳුළින් ඇය සියල්ල විඳ දරාගත යුතු යැයි සිතුවාය.
එහෙත් පෙරදා රාත්‍රියේ මැදියමේ පිබිදුණු ඇය දුටුවේ රොෂාන් සහ මැටිල්ඩා එළිපත්ත උඩ වාඩි වී කතා කරමින් සිටින අයුරුය. එය වැඩිහිටි සහෝදරියක සමඟ ඇති සම්බන්ධයට එහා ගිය සමීප වීමකි.
“මැටිල්ඩ අක්ක ඔයාගෙ කවුද?” උදෑසනම මධුෂාණි රොෂාන්ගෙන් ඇසුවාය.
“ඇයි?” රොෂාන්ගේ ප්‍රේමනීය වත වෙනස් විය.
“මට දැනගන්න ඕනැ.”
“කට පියාගෙන මැටිල්ඩ අක්කත් එක්ක තියෙන දෙයක් බලාගෙන හිටියනං.”
මධුෂාණිගේ දෙනෙතට කඳුළු නැඟුණේ ගං තුලානේ අහිංසකව ජීවත්වන පවුලේ අය සිහිපත් වීමෙන්ය. තමා මවාගත් නෙකවරුණ සුරංගනා සිහිනය සමාප්ත යැයි ඇයට සිතුණි.
අස්වාභාවික සිනා හඬක් නිසා කඳුළින් යුතුව හිස එසවූ මධුෂාණි දුටුවේ හනස්සක් අතින් ගත් කුරුම්බැට්ටි ගැහැනියයි.
“අම්මටහුඩු යකෝ ඇවිල්ල දවස් හතරයි. අලුත් මනමාලි වැළහින්න වගේ අඬනව.”
මධුෂාණි කිසිවක් නො කීවාය.
“මැටිල්ඩ වාහෙ කමට තියං ඉන්න කුඩු රොෂානය එක්ක උඹ අහවල් දේකට ආවද බං. ඉස්සෙල්ල ආව අටං පහුර හිටියෙත් මාසයයි. උඹත් ඔය බඩක් නහදගෙන ගල් අන්නාසි ගෙඩියක් හරි මැලේරියා පෙත්තක් හරි ගිලල ආපහු ගෙදර පලයං බාං.”
ගැහැනිය ආපහු ගියේ ඇගේ පැල්පත සමීපයේ යළිත් කොලු රෑන සිටිනු දැකීමෙන්ය.
මධුෂාණිට සිහිපත් වන්නේ හැන්දෑවේ වැඩ අහවර කර ගෙදර විත් තේ කහට කෝප්පයක් බී බුලත් විටකින් සප්පායම් වී පිල උඩ හිඳින තාත්තාය. ඔහුගේ ඇස් දිට්ටි මානයේ ඇත්තේ ගොවිතැන් බත් කරන වෙල් යායයි. ඒ අද්දර කුඹුක් හෙවණේ ළිඳෙන් ඇති පදං වතුර ඇද නා තෙත ඇඳුම් පිටින්ම පියාගේ දෙපතුල ළඟ වැඳ වැටී සමාව අයැදින්නට සිතක් මධුෂාණිට ඇතිවිය.
ඈත මුහුදේ වැස්ස දැන් තුරල් වෙලාය. හිරු එළිය මුහුද උණුසුම් කරයි. ජල වාෂ්ප සහිත සුළඟ රළුය. එහි ඇත්තේ රූරා නොවැටුණු කඳුළක ඇති ළවණ සුවඳකි.
'මේරි නම් වූ මරියා' .
මංජුල වෙඩිවර්ධන
(boondi අඩවියෙනි)
මරියා ගේ කන්‍යා භාවය අහෝසි කළ අපේ පළමු සංවාසය මෙ දැන් අවසන් විය.
සිරුරු දහදියෙන් පෙඟී එකිනෙක ඇලී තිබුණමුත් මම ඈ මත ම දිගෑදී හිඳිමි. මගේ පුරුෂේන්ද‍්‍රිය ඇගේ යෝනි මග තුල පසුගමන් යමින් සිටී. ඈ මා පිට මත දහදිය තලමින් හිඳින්නීය. උණුසුම් සුසුම් හෙළමිනි.
එකවරම මා ඉවතට පෙරලා දමා ඇඳමත දෙදණ ඇන දෑත් පටලවා ගත් මරියා ඉකිබිඳීමට ගනී. මම මුනින් අත පෙරලෙමි. දෑස් එකිනෙක පියැවී අන්ධකාරය ගලා ඒ.
* * *
මම ඓතිහාසික ස්වප්නයක් දුටිමි. ඒ ස්වප්නය තුළ අද්භූතකර වූ සිහිනයක් කැකෑරෙමින් තිබුණි.
එය මිසරයේ පාරාවෝ රජ සමය විය. රජුන්ගේ සිරකරුවන් සිරකරන සිපිරිගෙයක මා පංචස්කන්ධය ද තැන්පත්ව තිබුණි. යෝධ ගල් බිත්ති සතරකින් මැදි වූ එම අල්ප ඉඩකඩෙහි විසි දෙනෙක් පමණ විවිධ හැඩ තුළ ධ්‍යානගතව සිටියහ.
තැනෙක ශ්වසන පද්ධතිය අබලන් වූවෙකුගේ ගෙරවුම් හඩය. තැනෙක යොහොවඃ දෙවියන්ට ගැයෙන ගීතිකාවක බොල් බොල් හඩය. තැනෙක කැස්සය. තව තැනෙක ඇදුමය. ඉඳහිට ඉකියක් ද මතුවෙයි. මතුවී ඇසි නෑසි දියැවෙයි.
මෙම සකලවිධ ශ‍්‍රව්‍ය සංකලනයන්ට කන් දෙමින් සිටි මුත් මම දැසින් වම්පස බිත්තියේ මුදුනත පිහිටි කුඩා කවුළුවේ එල්ලී උනිමි. හිරු එළිය මඳින් මඳ ඒ කුඩා කවුළු දොරින් කාන්දු වෙමින් තිබුණි. ඝණඳුරෙහි කිමිදෙමින් තිබී දැස් ඒ අංශුමාත‍්‍ර එළියෙන් නිදිබත් වුණි.
ඒ අද්භූතකර හීනයේ උත්පත්තියයි.
* * *
වළාකුළින් තොර සුන්දර රාත‍්‍රී අහසේ තාරුකා දිළිහෙමින් තිබුණි. තාරුකා සියල්ලටම බෙදී විදිදී තිබූ අවධානය තමා වෙත ඇද ගත් දීප්තිමත් තරුවක් අහස දෙපළු කරගෙන නැගී එන්නට විය. සඳ පමණක් විසල් වූ ඒ තුළ වල්ගයක් පැන නැගී එන්නට විය. සඳ පමණක් විසල් වූ පසු ඒ තුළ වල්ගයක් පැන නැගී කෙමෙන් දික් වන්නට පටන් ගති. ළං ළංව පෙනෙන්නට වූ තාරුකාවෙ වල්ග අග වක් වී මළපුඩුවක්ව මා ගෙල මත ඇද වැටී බිඳෙන් බිඳ සිර වන්නට විය. මර බියෙන් තැතිගෙන සිටි මම හැකි උපරිම ජවයෙන් මොර ගැසීමි. ඒත් මා මුවින් එකදු වදනක් හෝ පිටව ගොස් තිබුණේ නැත.
සිරකාර පාදයක් මා හිස පතිතව දැස් විවර වන විටත් මම මගේම ගෙල මගේ දෑතින් සිරකරලමින් ගොළුබවකින් මොරදෙමින් සිටියෙමි. ආලෝක අහුරු පොදිකමින් කුඩා කවුළුවෙන් ඇතුළට පැන ගන්නට විය. ඒ එළිය සිපිරි ගෙයි සියලු දෑ මත ගැටෙමින් තැන තැන සැරිසැරී.
සිරකරුවන් අතර නායක සිරකරුවකු විය. ජෝසප් නම් වු හෙතෙම සිහින තෝරන්නකු ලෙසින් ප‍්‍රකටව සිටි කඩවසම් රූපසම්පන්න තරුණයෙකි. දොනාත් නම් පෙදෙසක දී සිය සොහොයුරන් විසින් රිදී විස්සකට ඉස්මායල්වරුන්ට විකුණනු ලැබූයෙන් ජෝසප්ට මිසරයට ඒමේ භාග්‍යය උදා වී තිබුණි. පාරාවෝ රජුගේ වාසල ඇමති හා මුර සෙන්පති වු පොතිපර්ගේ භාර්යාව ඇය සමග සයනය කරන්නැයි ජෝසප්ගෙන් කළ නිරන්තර කන්නලව්ව ප‍්‍රතික්ෂේප කර අඥාන අවංකයෙකු වීම හේතුවෙන් ඔහුට සිරගත කර තිබුණි.
ජෝසප් හුන් තැනින් නැගිට විත් මා අබියස තේජාන්විතව සිට ගනිමින් ගැඹුරු ස්වරයෙන් මා ඇමතී ය.
“නුඹ දුටු සිහිනය නොසගවා පවසාපන්න. මම නුඹට එය තෝරා දෙමි”
මම සසැලෙන හදින් ඔහුවෙත සිහිනය පුදදීමි. ඔහු දෑස් පියා දෑත් ඉහළ ඔසවා මොහොතක් සන්සුන්ව හිඳ දෑත් පහත හෙළා දෑස් විවර කර හඩ අවදි කළේය.
“නුඹට දාව පුතකු ජනිත වනු ඇත. ඌ අදේවවාදයේ අන්තය තෙක් ගමන් කරනු ඒකාන්තය. එහෙයින් ඌට අන්ත කි‍්‍රස්තු යන නාමය තබපන්න”
සිරකරුවන්ගේ චිත්තාභ්‍යන්තරයේ වූ හැගීම් සම්මිෂ‍්‍රණය මුහුණු මත ආලේප වෙමින් තිබුණි. දැහැනින් මිදුණු ඇතැමෙක් හුන් තැන ම දෙපයින් නැගී සිටියහ.
“ඌ මුලින්ම නුඹෙ ගෙලට මළපුඩුව වන්නේය. අනතුරුව සෙස්සන්ගේ ගෙල මත ද අනතුර පතුරවන්නේය. කෙබඳු වෑයමක යෙදුනත් මෙම උපත වළකාලීම කිසිවෙකුටත් කළ නොහැක” යැයි සිහින තෝරන්නා සන්සුන් වදනින් පැවසීය. ඔහු මුවින් මෙවදන් ගිලිහෙත්ම සියලු සිරකරුවෝ නැගී සිටියහ. අනතුරුව මා වටා ඉලිප්සාකාරව පරිභ‍්‍රමණය වන්නට පටන් ගත්හ. මම තැති ගතිමි. සන්ත‍්‍රාසයෙන් මුසපත් වීමි. භ‍්‍රාන්ත වීමි. කොටින්ම මට දෙවියන් සිහි වුණි.
ක‍්‍රමයෙන් මිනිස් කවය කුඩා වන්නට විය. සියලු දෑස් මා වෙත කඩා පැන්නෝය. එකිනෙකා උරෙනුර ගැටෙමින් තෙරපෙමින් පොරබදමින් මා ලිගුව ස්පර්ශ කිරීමට හෝ උගුල්ලා දැමීමට මාරාන්තික සටනක යෙදුනාහ. සමහරෙක් බිම මත පෙරලි පෙරලී දැඟලූහ.
මේ අතර පසුපසින් ආ කිසිවකු දෙපා කරුව අතරින් අතක් දමා මගේ පුරුෂ සංකේතය ඩැහැ ගත්තේය. මම මර හඩ දෙමින් බිම්පණුවෙකු සේ නලියන්නට වීමි. ඇඳ විට්ටමේ හිස වදින තුරු මරහඩ හා දැඟලිල්ල ඒ අයුරින්ම තිබෙන්නට ඇත. මා සුරත ලිඟුව මත දැඩිව පැටලී තිබුණි.
* * *
මරියා සුරුවම් කූඩුව පාමුල දණින් වැටී හිඳින්නීය. පූර්ණ නිර්වස්ත‍්‍රයෙනි. සුරුවම් කූඩුව තුළ සීරුවෙන් වැඩ සිටින කන්‍යමරියාවන් ඇසිපිය නොහෙලා මරියා දෙස බලා හිඳින්නී කුළුණුබර දෑසිනි. අනුපමේය අනුකම්පාවෙනි. අපමණ දෝමනස්සයෙනි. මරියා වෙනුවෙන් කන්‍යමරියාවන්ගේ ඇසේ උපන් කඳුලක් ඈ තනා තිබූ මැටි මත ආලේප කර ඇති ළා නිල් සහ ශ්වෙත වර්ණ තීන්ත මතින් රූරා ගලයි. මේ කිසිවක් මරියාට නොපෙනේ. දසැඟිලි පටලවා ගත් ඈ දෑසින් බිම පිරිමදිමින් සිටී. යාච්ඤාවකින් දෙතොල සසැලේ. කරලකට ගෙතූ ඈ දිගු දුඹුරුවන් කියඹුවැල කශේරුකා මතින් ගලා විත් වටොර දෙපලු කළ රන් රේඛාව ද පසුකර නතර ව හිඳී. සුසිහින් ඉඟටිය ඈ පුළුල් වටොර හි චමත්කාරය තීව‍්‍ර කරයි.
මට පෙනෙන්නේ ඇගේ සුන්දරත්වයෙහි පශ්චිමභාගයේ සමීප රූපයකි. මම ඒ දෙස බලාගත්වන ම ඇඳ විට්ටමට බර වෙමි. දුම් වැටියක් දල්වා දීර්ඝ දුම් දහරාවකින් පෙණහලු පුරවා ගනිමි.
කිසිවකු මා උරහිසට තට්ටු කරනු දැනේ. මම හැරී බලමි. දිගු ඝණ කළු ලෝම පිරී ගිය සිරුරකි. ඒ සාතන්ය. ඔහුගේ සිරුරෙහි වන එකම වස්ත‍්‍රය සස්පෙන්ඩරයක් පමණි. ඔහු අත හීනියට එතූ සූස්තියක් වෙයි. ඔහු මගෙන් ගින්දර ඉල්ලයි. මම දුමවැටිය පාමි. සූස්තිය දල්වා ගත් සාතන් දුම්වැටිය යළි මවෙත දී මරියා අසල රැඳි හාන්සි පුටුවට පිට දේ. ඔහු මදෙස බලයි. දත් විලිස්සා සහෝදරාත්මක සිනාවක් පායි. ම සිත නන්නත්තාර ව ඇත. ඔහු වෙතින් දෑස් ඉවත් කරනා මම ඉහළ බලමි.
වහලෙහි උළුකැට සෙලවෙන හඩක් ඇසේ. අනතුරුව උළුකැට ගළවන දෑතක් පෙනේ. උළු ඉවත් කරන ලද අවකාශය අතරින් සුදෝ සුදු තටු විදා පියාඹා පහතට බසිනා ශාන්ත වූ රූපයකි. සිරුරෙහි සතර දිග්භාගයම සුධවල පිහාටුය. පෙන්ග්වීනයකු සේ තටු හකුලා ගෙන මරියාගේ නිරුවත අසබඩ සීරුවෙන් සිටගත් හෙතෙම ගාබ‍්‍රියෙල් දේවදූතයා බව මම පහසුවෙන් හඳුනා ගනිමි. ආලෝකයේ පුත‍්‍රයන් සහ අන්ධකාරයේ දුතයන් අතර ධර්ම යුද්ධය ඇරඹෙන ලකුණු කෙමෙන් පහළවී එයි.
සාතන් හාන්සි පුටුවෙ වෙවැල් රටා මත සිරසින් සිට ගනී. රළු පරළු ගිගිරුමක් බඳු හඩින් ඔහු මරියා අමතයි.
“මා ප‍්‍රිය මරියනි! සියලු ස්ත‍්‍රීන් අතුරින් ආශීර්වාද ලද්දී නුඹය. මම නුඹට ප‍්‍රිය වෙමි. හදවතෙහි පැන නගින අපමණ ප‍්‍රසාදය නුඹට ම පමණි. නුඹගේ ශ‍්‍රී කුසින් ජනිත වන තේජෝබල සම්පන්න අසාමාන්‍ය ප‍්‍රාණියාට “අන්ත ක‍්‍රිස්තු” යන නාමය තැබීමට නියෝග කරමි. මන්දයත් මෙ කුමරා පාපය කූටප‍්‍රාප්තියට පත් කොට මෙ ලොව ගලවාගන්නෙහිය”
ප‍්‍රසන්න හිනාවකින් මුව සරසා ගන්නා සාතන් යළිත් පුටුවෙහි හිඳ ගනී. මරියා සිහිසුන්ව ඇද වැටේ. මට මරියා ළඟට යාමට නොහැක. මා ඇඳට ඇලවී ගල් වී ඇත.
ග‍්‍රාබියෙල් පිහාටු පොකුරක් තුළට අත දමා ශුද්ධ වූ කුප්පියක් ඇද මරියාගෙ මුහුණ මත පැන් ඉසියි. ඇගේ දෑස් නටයි. අවදි වී වටපිට බලයි. සැණින් ඈ ග‍්‍රාබියෙල් ගේ තුරුල්ලට පැන ඉකිබිඳිමින් ” අහෝ! කාරුණික ග‍්‍රාබියෙල් දේවදූතයාණනි! පියාණන් කෙරෙහි මෙපමණ භක්තිවන්ත වූ මා අඳුරු පාතාලයට ඇද වැටීමට ඉඩ දෙන්නේ මන්දැ” යි ප‍්‍රශ්න කරයි.
මරියාගේ සුමුදු දේහය තුරුල්ලට ගෙන සිටින දේවදූතයාගේ මුහුණ කල්පකාලාන්තරයක් පුරා නොතිබි නන්නාඳුනන හැගීම් සමුදායකින් රත් පෑ ගැන්වී ඇත. ඔහු හිඳින්නේ දැඩි අපහසුවෙනි. තටු යුගල සසැලෙන රිද්මය එයට සාක්ෂිය සපයයි.
මගෙ නිරුවත මත හීන් දාඩිය නැගෙයි. තොල කට උගුර ඉරිතලා යනු හැඟේ.
එකෙනෙහිම සාතන් ඉදිරියට පැන ග‍්‍රාබියෙල් ඔසවා පොළොවෙ ගසයි. අති මහත් වූ ආනන්දයක කිමිදී සිටි ග‍්‍රාබියෙල් ද කෝපාග්නියෙන් දැවෙමින් වහ වහා නැගිට සාතන් වෙත කඩා පනී. ධර්ම යුද්ධය ඇවිලේ. දෙදෙනා එකම පොදියක පෙරලේ.
මුඛ කුහරය බලියා ගත් සාතන් ගාබ‍්‍රියෙල් ගේ දෙකකුල් ඩැහැ ගනී. එකට අඹරා මුඛයේ රුවාගෙන හැපීමත් ගිලීමත් පටන් ගනී. මුව දෙකොනින් ලේ බේරේ. වෙදනාවෙන් වියරු වැටෙන ගාබ‍්‍රියෙල් ගේ අතට හසුවන දිගු උල් නිය ඇති සාතන්ගේ වසුරු ගඳ දෙකකුල් මුවෙහි රුවා ගත් ඔහු ඒවා වෑයමින් විකමින් ගිල දමයි. මෙලෙස දෙකොණින් හපමින් විකමින් ගිලගන්නා දෙදෙනා ඔවුනොවුන් තුළ ගිලී අන්ත‍්‍රස්දාන වී යනු පෙනේ.
* * *
මා ඇයට මරියා කිය ඇමතුවත් ඇගේ සැබෑ නාමය මෙරි ජසින්තා ද සිල්වා විය. විවාහයට පෙර තිබූ හාමර් නම් වාසගම කප්පාදු වී ජෝසප් ද සිල්වා නම් වූ ඇගේ ස්වාමි පුරුෂයාගේ වාසගම නම අගට එකතු වී තිබුණි.
මම ඈ මුලින්ම දුටුවෙ ඉකුත් සීතල දෙසැම්බරයේ දීය. කොම්පඤ්ඤවීදියේ ගර්බස් දේවමාතාවන්ගේ දේවස්ථානයේ පසුපස බංකුවකට බර දී මා උන්නේ මා හා හාදකම් පැවැත්වූ කෙල්ලක් එනතුරුය.
එය සිකුරාදා දිනයකි. බැතිමතුන් පිරී ගිය හෝරාවක් නොවූයෙන් මරියාගේ දිගු යාච්ඤා නිසොල්මන මගේ අවධානය පැහැරගෙන තිබුණි. ඈ පිටුපසින් දණ නවාගේන උන්නී ඇගේ නැන්දම්මා බව මම පසුව දැන ගතිමි.
ඇය යාච්ඤාවෙන් මිදී නැගී සිටියාය. ඒ අවිහිංසක දිගටි මුහුණ කළුවන් වෙල්පටක් පැටලී ආවරණය වී තිබුණි. ඇය තෙවරක් ම ගර්බස් දෙව් මව්න්ගේ දෙපා දෑතින් ස්පර්ශ කර දෑත දෙතොලින් ස්පර්ශ කරනා අයුරු මම බලා උනිමි. අනතුරුව හැරී නැන්දම්මා ද නොතකා දේවස්ථාන දොරටුව වෙත ලියවර එසැවුවාය. අල්තාරය දෙසින් වෙගයෙන් හමා ආ සීත උඳුවප් සුළං දහරාවක් ඇගේ වෙල්පට ඔසවා ගෙනැවිත් මගේ දෙපාමුල තැබීය. නැඹුරු වී එය සුරතින් ගත් මම මා අබියස පිය මනින ඈ වෙත දිගු කර ගත්වනම උන්නෙමි.
ඒ අපේ දෙ ඇස් යුග හමුවුණු පළමු මොහොතයි.
* * *
විවාහ වී දෑ අවුරුද්දකට ආසන්න මුත් ඈ කන්‍යාවියකව සිටියාය. ජෝසප් ගේ පිරිමි ආත්මය සහ පුරුෂ ශක්තිය පිළිබඳ සැබෑ තතු නොදත් සියල්ලෝ වඳැසින් ඈ දෙස බැලූහ. දෙව් පියාණන් කෙරෙහි අතිශයින් භක්තිවන්තව සිටියෙන් ඈ ඒ ගැරහුම් කිසිත් මායිම් නොකළාය. එලෙස හිඳීමෙ ආත්මීය ජවයක් ඈ සතු විණි. ජෝසප්ගේ මව ගර්බස් දෙව් මැදුරට දක්කාගෙන යද්දී පවා සියලු දේ දරාගෙන නිහඩව උන්නී සැබෑ දේව දරුවකු මෙනි. එහෙත් ඈ කිසිවිටෙකත් ජෝසප් පාවා නොදුන්නාය. ඇදහිල්ල හා දේව වචනය ඇගෙ ඒකායන ජිවන දර්ශනය විය.
ඇගෙ සැමියා ජෝසප්ට ද දෙවියන් වහන්සේගෙන් තොර ලෝකයක් නොවීය. කෑම් බීම් ඇතුළු ඔහුගේ සකලවිධ කි‍්‍රයාවන්ගේ මුලට යාච්ඤාවක් නිරායාසයෙන් එකතු වන බව ඈ පවසයි.
විවාහ වන මොහොතේ පටන් දෙදෙනා දෙදෙනකු නොව එකකු වන බව දේව වාක්‍යයේ තිබෙන නිසාවෙන්දෝ ඔහු ඇයට අපමණ ලෙස පේ‍්‍රම කරන බව ඈ කියයි. එහි සත්‍යතාවක් තිබිය හැක. එවන් වූ කැප කිරීමකට ගෞරව කළ නොහැක්කේ කාට ද ? අනික දේව වචනය පැහැර හැරීම මරණීය පාපයක් ද වන බැවිණි.
මම ද ඇගේ කැපකිරීමට ගරු කළෙමි.
ඇගේ පේ‍්‍රමයට ඉඩ හළෙමි.
සුනදර රූ සපුවට පෙම් කළෙමි.
එතැන් පටන් මම මෙරි ජසින්තාට “මරියා” කියා කීවෙමි.
* * *
අපේ පළමු නිදහස් දිනය උදා වූයේ කාලාන්තරයකට පසු වය. කිසියම් අයෙකුට තම ජීවිතයේ කලාතුරකින් අහඹු ලෙස මෙවන් වූ අමන්දානන්දයක් හිමිවනු ඇත. ඒ වූ වරම් ලත් මා සැබැවින්ම භාග්‍යවන්තය. මන්ද යත් ස්වර්ග රාජ්‍ය මා අභියස දිස් විණ.
කාත් කවුරුවත් නොසිටි මරියාගෙ සුවිසල් නිවහනේ අපි තනිවුනෙමු. මා දැකීමෙන් ඈ පස්වනක් ප‍්‍රීතියෙන් පිනා ගියාය. මෙතෙක් සිත තුළ පොදි ගැසී උන් අනුරාගී රිද්මය මා සිරුර මත දොරෙ ගලා යෑම ඇරඹුණි. පළමුව ඈ අතොරක් නැතුව මා මුහුණේ සෑම වර්ග අගලක්ම සිපගත්තී උන්මාදයෙනි.
පළමු අදියර නිමාවත් ම හතිලමින් සුසුම්ලමින් හුන් ඈ සුවපහසු යහන මත ඉන්ද වූ මා ඇසෙන නෑසෙන හඩින් මිමිණීමි.
“අද දවස සදාකාලික කිරීම වෙනුවෙන් ඔයා එකම එක කොන්දේසියකට යටත් වෙන්න ඔන”
“ඔය ඉතින්! බය වෙන්න එපා. ලැජ්ජ වෙන්නත් එපා. මෙ යෝජනාවට දෙවියන් පවා එකගයි”
කිසිත් නොදෙඩූ ඇය මගේ ඉගටිය වටා සුරත යවා උරිස මතත හිස හොවා ගත්තීය. සරාගී සුසුම් හද තුළ දග කරනු මට ඇසිණ.
“මෙ මොහොතේ පටන් අද දවස ගෙවෙන තුරු අපි දෙදෙනා සිටිය යුත්තේ නිරුවතින් එකග ද?”
වික්ෂිප්තව මා දෙස බැලූ මරියා “දවස ම ? කනකොට බොනකොටත්?” යැයි ඇසුවාය.
“ඔව් ඉස්සෙල්ලම මට තේ එකක් ඔනේ. තේ එක් පවා සෑදිය යුත්තේ කොන්දේසියට යටත්වයි”
මා එලෙස සැහැල්ලුවෙන් වචන මුදා හළ මුත් එම හිටිවන යෝජනාවෙන් ඈ කැළඹිල්ලට පත්ව සිටියාය. මම ඈ අස්වැසීමට යත්න දැරීමි.
“ඔයා මෙ ලෝකේ වැඩියෙන්ම ආදරෙ කාට ද?” මම ඇගේ සුරත සුරතල් කරමින් ඇසීමි.
තත්පර කිහිපයක් මා දෑසට එබී හුන් ඈ “ඔයාට” යනුවෙන් පවසමින් කැළඹිල්ලෙන් මිදීමට වෑයම් කළාය.
“නෑ! ඔයා වැඩියෙන්ම ආදරෙ දෙවියන් වහන්සේට” මම මගේ යෝජනාවෙ උත්ප‍්‍රාසාත්මක හරය වෙත බිඳෙන් බිඳ ඈ රැගෙන ගියෙමි. “දෙවි පියාණන් වහන්සේ මෙ අශ්ලීල ඇඳුම් පැළඳුම් වලට කැමති නැහැ. අන්න ඒ නිසයි උන්වහන්සේ මනුෂ්‍යයා මවනකොට නිර්වස්ත‍්‍රයෙන් මැවුවෙ. දෙවියන් වහන්සේ නිරුවත්. අන්න ඒ නිසයි උන්වහන්සේ ආදම් සහ ඒව තමන්ගේ සමානකමට මැවුවෙ. උන්වහන්සේ නිරුවතට කැමතියි. ඒ නිසා අපිත් එයට ගරු කළ යුතුයි. එය අද්විතීයයි. උන්වහන්සේ සතුටු කරණු පිණිස අපි අද දවස කොන්දේසි සහිතව ගත කරමු.”
මෙසේ තෙපලන අතර මම මගේ ඇගිලි තුඩු මරියාගේ ඇඳුම් මත වූ බොත්තම් සිප් ටික් සහ හක් අතරින් යවා ඒවා විසන්ධි කළෙමි. සා පැටික්කියක සේ කීකරුව සිටි ඈ විළියෙන් රත් පෑ ගැන්විණ. අවසන දෙව් දුවක බඳු වූ මරියා ගේ නග්න රූ සිරිය මා දෑස් අබියස විකසිත ව්නනට විය.
ඉදින් මරියා නිරුවතට හුරු වූවාය.
උපන් ඇඳුමින් මුළුතැන් ගෙට පිය මැනීමට තරම් ඇගේ සිත මෝදු වී තිබිණ. මම මගේ ඇඳුම් අහවර කොට දුම්වැටියක් දල්වාගෙන ඇඳ විට්ටමට බර වීමි. ස්වල්ප මොහොතකින් ඈ තේ එකක් රැුඳි ටේ‍්‍ර එකක් ගෙන කුටියට ඇතුළු වූවාය. සිනාසෙන මගේ දෑස ඇගේ සිරුර තුළ කිමිදුණි. ටේ‍්‍ර එක ටී පෝව මත තැබූ මරියා සැණින් ඇඳට පැන මා පුරුෂන්ද‍්‍රීය වසා සිටි කොට්ටය ඩැහැගෙන මවෙත දමා ගැසුවාය. මාතෙහි වූ දුම්වැටිය පියාඹා ගොස් බිමට පතිත විණි.
සිනා රැළි එක පිට එක නැගී පිළිරැව් දුණි. කුටිය මොහොතකින් සිනහ සාගරයක ගිලී සැනහී යනවා පෙනුණි.
* * *
මම සයනයෙන් බැස ඇස අසලට පිය ඔසවමි. දෑතින් ඇය ඔසවා ගෙනැවිත් සීරුවෙන් සයනය මත තබමි.
“අපි දැන් මොකද කරන්නේ” සිනාසීමට යත්න දරමින් මරියා අසයි.
“දරුවෙක් ලැබෙන්න ආවොත් ? ඒක ජෝසප් දැන ගත්තම…. ” ඈ තුල වන බිය විනිවිදිමින් සතුටක සේයාවක් නිවි නිවී දැල් වෙ.
මම කිසිත් නොදොඩා නැඹුරු වී ඇගේ නලලත සිප ගනිමි. මා දෑස දෙස බලාගත්වන ම සිටින මරියා පිළිවදනක් දෙන මෙන් දෑසින් අයැදියි.
“ඔයා ජෝසප් ට කියන්න දරුවා දෙවියන් වහන්සෙගෙ කියලා!”
පට්ටා ගැසුණු දුඹුරු පැහැ කොට කලිසමක් සහ දුර්වර්ණ වූ නිල් කොටු කමිසයකින්
නිතර සැරසී සිටිනා ඔහු මාදින්නාගොඩ කවුරුත් හඳුනා ගෙන සිටියේ ‘බෙලෙක් ’ යන
නමිනි. ගොරෝසු හිස කෙසින් හා දෙබැමින් ද තවමත් උඩු තොලේ හා නිකටේ වැඩී
ගෙන එන රැවුලකින් ද යුත් ඔහුගේ මුහුණ රවුම් විය. අඩි හතර හමාරකට වඩා උස් නො
වූ ඔහුගේ දෙපයේ රබර් සෙරෙප්පු යුවලක් වැරදුණේ නැත. රබර් සෙරෙප්පු දෙක රැකියාව
විසින් ඔහුට අනිවාර්ය කරනු ලැබ තිබිණි.
ලෑලි පාලම පසු කොට ගුරු පාර දිගේ මඳ දුරක් ගිය තැන වම් පසින් ඇත්තේ දර
මඩුවකි. දර මඩුවට යාබද ව ලෑලිවලින් තැනූ කුඩා කාමර කෑල්ලක් වේ. බෙලෙක් ජීවත්
වන්නේ මේ කාමර කෑල්ලට කුලී ගෙවා ගෙන ය. දර මඩුව අයිති දාබරේගේ නිවස ඊට
මඳක් එපිටින් වේ.
බෙලෙක්ගේ කාමරය ඉතා කුඩා නමුත් එහි එක් අයකුට කිසිදු අපහසුවක් නොමැති ව
රාත‍්‍රිය ගත කිරීමට ඉඩ කඩ තිබුණි. සිනමා නළු නිළියන්ගේ ද අයෝමය පුරුෂයන්ගේ ද
ඡායාරූප පළ වූ පත්තර සඟරා පිටු නො ඇලවූ තැනෙක ලෑලි බිත්තියේ එල්ලූ බෝල
කූඩුවේ ඔහුගේ ඇඳුම් දෙක තුන විය. ඔහු නිතර ඇන්දේ දුඹුරු පැහැ කලිසමත් නිල් කොටු
කමිසයත් වුව ද තවත් කොට කලිසමක් හා කමිසයක් ද ඔහුට තිබිණ.
වයස අවුරුදු දහ නවයක් වූ ඔහුගේ රැකියාව බෙලෙක් එකතු කිරීම ය. මලකඩ බැඳුණු
බෙලෙක්, ටින් පියන්, තහඩු කෑලි, කොකු යකඩ කෑලි, පයිප්ප ආදි මේ කොයිවාත් ඔහු
එකතු කළේ ය. සෑම ගෙවත්තක ම පිටුපස මදුරු පණුවන්ට වාසස්ථාන වූ ටින් කබල්
ආදියේ වටිනාකම දන්නේ කීයෙන් කී දෙනා ද ? මේ ගැන සිතෙන විට බෙලෙක්ගේ කළු
වූ දෙතොලේ සීන් සිනාවක් ඇඳී යයි.
බෙලෙක් එකතු කිරීමට ගෙන යන කරත්ත කුලියට දෙන තැනක් වැලිකඩ වේ. සෑම
දිනක ම උදේ බෙලෙක් මේ කරත්තයක් රුපියල් විස්සක් ගෙවා කුලියට ගනී. සෑම උදයක
ම ගෙවීමට රුපියල් විස්සක් ඔහු පෙරදා ආදායමෙන් අතේ ඉතිරි කර ගනී. නැතිනම් සවස
දෙන තුරු ඇපයට තැබීමට හැඳුනුම් පත වුවමනා ය. හැඳුනුම් පත ලබා ගැනීමේ ක‍්‍රමය ද
හොඳ ය. බෙලෙක් හැර අනික් අය කළේ එලෙස ය. එහෙත් හැඳුනුම් පතක් නැති බෙලෙක්ට
එය කළ නො හැකි ය. එබැවින් දවස අවසානයේ රුපියල් විස්සක් පසු දා කරත්ත කුලිය
සඳහා ඉතිරි විය යුතු ය. ඊට අමතර ව තවත් රුපියල් දහයක් මාසයේ මුල සෑම දිනක ම
දාබරේ අත තැබීමට ද ඔහු පුරුදු ව සිටියේ ය. මෙසේ රුපියල් දහයක් දෙන සෑම වරක
ම කාමරයේ ලෑල්ලක පැන්සල් ඉරක් ඇඳිණි. ඉරි කැබලි පහළොවක් සම්පූර්ණ වූ පසු
මාසයේ කුලිය දැන් ගෙවී ඇතැයි ඔහු දාබරේට දන්වයි. කෑම බීම ද ගෙවල් කුලී කොටස
හා කරත්ත කුලිය ද ආදි සැම වියදමක් ම අවසානයේ ඉතිරිවන යම් මුදලක් වෙතොත් එය
ඔහු පෙට්ටියේ දා ඉබ්බා දමයි. බෙලෙක් රාජකාරියට පිටත්වන්නේ උදෑසනින් ම ය.
වත්තකට ඇතුළු වන සැම විටක ම එ් වත්තේ ඉන්නා පිරිමි ටින් කබල් එකතු කරගෙන
යනවාට මුල දී ම කැමැත්ත දක්වති. එහෙත් ගැහැනුන් බලන්නේ වපරැසිනි. වටිනාකමක් නැති
ටින් කබල් අවුස්සන මානයෙන් අවුත් සොරුන්ට ඔත්තු සපයතැයි ඔවුන්ගේ අවිශ්වාසයක්
වේ. ඔවුහු එය එළිපිට ම ප‍්‍රකාශ කිරීමට ද ඇතැම් විට මැළි නො වෙති. එහෙත් බෙලෙක්
එකතු කිරීමේ කලාව මැනවින් ප‍්‍රගුණ කොට ඇති බෙලෙක් නොමනාපයෙන් මුහුණ පුළුටු
කර ගෙන බලා ඉන්නා ගෘහිණියන්ට පෙනෙන්නට මුලින් ම එකතුකර ගන්නා සාඩින් ටින්
දෙක තුනක රැුඳුණු පල්වතුර හලා දමා මිටියෙන් තළා ගෙන ගොස් මෙසේ කියයි.
”මේවෑ මදුරු පණුවො............. මුං විද්දම තමා බරවා හැදෙන්නෙ........”
බෙලෙක් ඉන් එහා එ් ගැන කතා කිරීමට නො යයි. ගෘහිණියගේ මුහුණින් වැහි වලාකුළු
පහව යනු ඔහුගේ හොරැහැට පෙනේ.
වතු හතර පහක් ඇවිදින විට කරත්තය පිරේ. ඉන් පසු ඔහු වහ වහා බෝතල් කඩය
කරා පැමිණෙයි. බෙලෙක් කිලෝවක් බෝතල් කඩය මිලයට ගන්නේ රුපියල් එකයි ශත
පනහ ගණනේ ය. වෙහෙස නොබලා එකතු කළ හොත් එක දෙක වන විට කිලෝ තිහ
හතළිහක් සොයා ගැනීම එතරම් දුෂ්කර කාර්යයක් නො වේ. දිවා ආහාරය කඩයකින් ගන්නා
හේ විවේකයක් නොගෙන ම ඊළඟ වටය අරඹයි. එ් වටයෙන් ද කිලෝ විස්සක් විසි පහක්
සොයා ගැනීම සිදු වේ. සවස පහ පසුවන විට මුදල් ගනුදෙනු බේරා ගෙන ? කෑමට යමක්
ද ගෙන බෙලෙක් නිදහසේ කාමරයට එයි. නැත්නම් චිත‍්‍රපටයක් බලන්නට යයි.
ඇතුළුකෝට්ටේ පසුකොට දැන් බෙලෙක් බත්තරමුල්ල පැත්තේ ඇවිදී. එහි එන අතුරු
මඟක් වුව අවුරුද්දක් එකතු කළත් ඉවරයක් කළ නොහැකි යැ යි ඔහුට සිතේ.
දහවල් වන තුරුත් එක සීරු වැහි ඇද හැළුණෙන් බෙලෙක් රැකියාවට යාමේ අදහස
අත් හැරියේ ය. අහසේ වැසි වලාකුළු පිරී තිබුණෙන් ඉක්මනින් පායාවි යැයි සිතා ගැනීමට
ද ඉඩක් නො විණි. බෙලෙක් එකතු කරන්නට යාම මෙබඳු දිනවල අසීරු බැවින් දවස
අත්හැරීමට ඔහු කල්පනා කළේ ය.
දහවල් ෙදාළහ එක වන විට අහසේ තිබූ වැහි වලාකුළු කෙමෙන් පහවී ගොස් හොඳින්
හිරු බැබළෙන්නට විය. කම්මැළිකමින් දර මඩුවේ කොටයක් මත හිඳගෙන පාර බලා හිඳීම
ඇති වූ පසු බෙලෙක් කළේ කමිසය හැඳගෙන පිටත් ව යෑම ය.
කොටියාගොඩ පාලම අසල බෙලෙක්ගේ මිතුරෙක් සිටියි. බෙලෙක් එහි යන විට මිතුරා
කුකුළකු ගෙන එන්නට කොලොන්නාවට ගොස් සිටියේ ය. මඳ වෙලාවක් පාර අයිනේ
සිටගෙන ඉඳහිට පාරේ දිවෙන වාහන දෙස බලා හුන් බෙලෙක් මිතුරා මුණ ගැසීමේ අදහස
පසෙකට ලා ආපසු එ්මට පිටත් වූවේ ය.
සැතපුම් ගණන් පයින් ඇවිදීම රැකියාව කොටගෙන සිටින බෙලෙක්ට මේ ටික දුර පයින්
ඇවිද ගෙන එ්මේ අමුත්තක් නැත. එහෙත් සෑම දා තනියට ඔහු හා ගමන් කරන කරත්තය
නොමැත්තෙන් ඔහුට පාළුවක් දැනිණි. ගීයක පද උරුවම්බාමින් ඔහු එමින් සිටියේ ය.
”කීයද්ද අම්ම දුන්නෙ..............? ”
”රුපියල්.............”
”කියහංකො ගිලින්නෙ.........”
පාර අයිනේ බිමට නැමී ගත් වන ම මොනවාදෝ සොයමින් හුන් දැරියන් දෙදෙනෙකුගේ
කතා බහින් බෙලෙක්ගේ ගමන මඳකට නැවතිණි. බැලූ බැල්මට අවුරුදු දහසයක් දහ හතක්
පමණ කිව හැකි අක්කා කෙළින් වී අට නව හැවිරිදි නැගණිය යැයි සිතිය හැකි දැරියට බැණ
වදින්නට පටන් ගත්තා ය. බෙලෙක් ඔවුන් පසු කර යනවාත් සමඟ ම අක්කාගේ ටොකු පහරක් නැඟණියගේ හිසෙහි පතිත විණි. යන ගමන ඉබේ ම නැවතී, ඔහු පාර අයිනේ
සිටගෙන දබරය නරඹන්නට වූවේ ය.
කුඩා දැරිය හැඳ සිටියේ ඉරී ගිය කඩමාල්ලකි. ඒ ගවුම ඇගේ උස මහතට කොහෙත් ම
නොගැළපෙන එකකි.
යාන්තම් ඉඟෙන් පහළට එල්ලෙන එසවුණු පැත්තකින් බිම වාඩි වීමෙන්දෝ ගුරු
පැහැ වූ කලිසමක කොටසක් දිස් වේ. වැඩිමලියගේ ඇඳුම එ් හැටි ම දුර්වර්ණ නොවුණත්
එය ද ඇගේ පමණට කුඩා එකකැ යි බෙලෙක්ට සිතිණි. ඔවුහු අවුල් තඹ පැහැ කෙහෙවලූ
උණ්ඩි කොට බැඳ සිටියහ.
”දුන්නොත් කෑව .......... ඊ රී ...... හොයපං බලං ඉන්නෙ ........ නැත්නං අද කළුවරේ
තමයි ඉන්න වෙන්නෙ ........ යස්සනී ...........”
අක්කාගේ අවලාදයෙන් නැඟණිය නැවතත් නැමී ගත් වන ම පාර අයිනේ දූවිලි ද, තණ
කොළ බිස්ස ද පයින් අවුස්සමින් සොයන්නට වූවා ය.
”මෙතෙන්ට එනකල් තිබ්බ ද ? ”
”තිබ්බ.......... ”
”ඊට එහා හරියේ දී තමයි වැටුණෙ........”
”වැචුඤ ........... වැචුඤ තමයි.........”
කෝපයෙන් කට ඇද කොට එසේ කී අක්කා ද අසුලා ගත් කෝටු කැබැල්ලකින්
තණකොළ පීරමින් සොයන්නට වූවා ය. ඔවුන් සොයන්නේ කාසියක් වියයුතු යැයි බෙලෙක්
අනුමානයෙන් සිතා ගත්තේ ය. දැලි වැදී කළු ගැසුණු බෝතලය ද , රාත‍්‍රිය කළුවරේ ගත
කරන්නට සිදුවෙතැ යි අක්කා කළ අනතුරු ඇඟවීම ද එක් ව ගත් කල භූමිතෙල් ගෙනෙන්ට
ගෙනා කාසිය කුඩා දැරිය අතින් නැති වී ඇති බැව් හොඳ හැටි පැහැදිලි ය. එය රුපියල්
පහේ කාසියක් විය යුතු ය.
පාර අයිනේ සිට ගෙන මේ අක්කා නෙඟා් දෙස බලා සිටීම සුදුසු දැ යි අනතුරු ව
බෙලෙක්ට කල්පනා විණි. ඔහු කඩිනමින් අඩි කීපයක් ගමන් කළේ එහෙයිනි. අහසේ
කොනක දිස්න දෙන හිරු පඬු පැහැ තද ආලෝකයක් විහිදුවයි.
හිරු දෙසට මුහුණ ලා යමින් සිටි බෙලෙක් හදිස්සියේ ම ආපසු හැරී ආ මඟ බැලූවද
අක්කා හෝ නැඟණිය එක් වරට ම පැහැදිලි ව දැක ගත හැකි නො විණි. දෑස් නිලංකාරය
ගෙවී රූප පැහැදිලි වන විට මඳක් ඉදිරියට අවුත් නැමී ගත් වන ම කෝටුවෙන් තණ
කොළ බිස්ස පීරන අක්කා ද , දෙදණේ දෑත් ඔබා ගත් වන ම මහපොළොවේ දූවිලි කැටයක්
ගානේ සෝදිසි කරන නැඟණිය ද දැක ගත හැකි විණි.
බෙලෙක්ගේ සිතෙහි අනුකම්පාවක් ඉපදිණි. ඔහු සිත මෙළෙක් වන්නට විය. ඔහුගේ
දකුණත කොට කලිසම් සාක්කුව බලා ගොස් එහි වූ මාරු කාසි කිහිපය හසු කොට ගෙන
ආපසු ආවේ එහෙයිනි. අතට ගත් රුපියල් දෙකේ ශත පනහේ රුපියලේ කාසි අතර රුපියල්
පහේ කාසිය අත්ලේ රඳවා ගනිමින් ඉතිරි කාසි සාක්කුවට දමා ගත්තේ ය.
කාසිය අතට ගත්ත ද එය ඔවුන් හට දෙන්නේ කෙසේ දැයි බෙලෙක්ට සිතාගත නොහැකි ය.
ඔවුන් බැණ වැදුණ හොත් ? නන්නාඳුනන තමා වැන්නකු අතින් දෙන මුදල ආපසු දමා
ගසා බැණ වැදුණ හොත් ඇතිවන ලජ්ජාව විඳ දරා ගන්නේ කෙසේ ද? එහෙත් එ් සමඟ ම
එසේ ඔවුන් තමාට බැණ වැදීමක් නො කරනු ඇතැයි විශ්වාසයක් ඔහුගේ සිතෙහි ජනිත
විණි. එ් විශ්වාසයත් සමඟ ම බෙලෙක් අඩි කිහිපයක් පෙරට තබා දැරියන් වෙත සමීප වීම
ආරම්භ කළේ ය. එසේ වුව ද කඩින් කඩ දෙපොළක නැවතී ඔහු දැරියන් වෙත ළං වූයේ
දෙගිඩියාවෙනි. ඔවුන්ගේ ගෙවල් දොරවල් ඇත්තේ ළඟ අහල පහළක නම් තමා කාසිය
දීමට යන විට ඔවුන් ගෙදරට ඇසෙන්නට කෑ ගසා ”මෙන්න කවුදෝ මිනිහෙක් අපිට සල්ලි
දෙනවා.......” යි කීවොත් යන බියෙන් ඔහු තප්පර කීපයක් පසු බස්වනු ලැබිණි. එහෙත්
එ් වන විට ද තමන් දෙස, අතේ උණ්ඩි කරගත් දෙයක් තව තවත් උණ්ඩි කර ගනිමින්
තරුණයකු බලා සිටිනවා දැරියන් දැක තිබිණි.
ආගන්තුක තරුණයා දෙස වැඩි මහල්ලියගේ සැකමුසු බැල්ම කුඩා වූ දෙනෙත්වලින්
පළවිණි. ඇගේ නළලේ සිහින් රැලි කිහිපයක් මතු වී තිබිණි. නැඟණියගේ බැල්ම ඊට
වෙනස් විය. ඉවකින් මෙන් බලාපොරොත්තු සහගත බවක් ඇගේ බැල්මේ දැක ගත හැකි
විය. එ් බැල්ම තරුණයාගේ මිට මෙළවුණු අත්ලට ද මුහුණට ද වටින් විට මාරු වෙමින්
පැවතිණි. හදිස්සියේ ම බෙලෙක් තම මිට මෙළවුණු අත්ල දිග හැර එහි වු රුපියල් පහේ
කාසිය දැරියන් වෙත දිගු කළේ ය. එ් සැණින් කුඩා දැරිය සිය අත්ල පෑවා ය.
”අයිය ද ඇහුල්ලේ .................... ?”
බෙලෙක් පස්සට විසි වු අතර ඔහු වහා තම අත මිට මොළවා ගත්තේ ය. එය අසුලා
ගත්තක් නො ව, තමාගේ ම රුපියල් පහක් බව එසේ ප‍්‍රකාශ වන්නට සැලැස්වූ හේ, තමාට
ඕනෑ නම් එය දීමට ද, නැත්නම් නොදීමට ද ඇති අයිතිය පළකරමින් අඩියක් පස්සට තැබුවේ
ය. එහෙත් නැඟණිය පමණක් නො ව කාසිය දුටු ඇසිල්ලේ ඇගේ අක්කා ද බෙහෙවින්
වෙනස් වූ අතර එය ඔහු කෙසේ හෝ තමන්ගේ ඇස් වසා අසුලා ගන්නට ඇතැ යි විස්වාස
කරනා බවක් පළ විණි.
”මගේ රුපියල් පහ ........... වැටුණ රුපියල් පහ ..........”
”නෑ .......... මේ මගේ සල්ලි ..........”
”එහෙනං දෙන්නෙ..........? ”
කුඩා දැරිය ඇස් ගෙඩි උලූප්පාගෙන අසයි.
තමා මුදල් දෙන්නේ මන් දැ යි හදිස්සියේ ම බෙලෙක් ද නැවතත් සිතන්නට වූ බවක් පළ
විණි. ඇයි ? තමා කාසිය දෙන්නට සිතුවේ ඇයි ද යන්න ඔහුට හැඟී යතත් එය වචනයට
නගා පළ කිරීම අසීරු ය. මුවට නගා ගත යුතු වචන සිතාගත නොහැකි ව අසරණ වූ
බෙලෙක් ගේ දෙතොල් වියලී තිබිණි.
”කෙල්ලනේ .......... තොපි මක්කොන්නවද ඔතෙන්ට වෙලා.........?”
තහඩුවක් දෙකට ඉරා දමන විට නැගෙන්නාක් බඳු තියුණු වූත්, කර්කෂ වූත් හඬකින්
දැරියන් ඇමතූ ඔවුන්ගේ මව යැයි සිතිය හැකි ස්ත‍්‍රිය දුටු ඇසිල්ලේ බෙලෙක් කොතෙක්
තැති ගත්තා දැ යි කිවහොත් සැබෑ වංචනිකයෙකුගේ ස්වභාවයක් ඔහු කෙරෙන් පළවිණි.
තම පසු පසින් ඇසුණු වාහනයක නළා හඬින් තිගැස්සී ගිය හේ නිනව් නැත්තෙකු සේ
වට පිට බැලී ය.
මවගේ කට හඩ ඇසුණු ඇසිල්ලේ කුඩා දැරිය වහා ඇය වෙත දිව ගියා ය. නිසැකයෙන් ම
මවට සිද්ධිය දැන්වීමට පෙරාතු ව මේ උගුලින් ගැලවී අතුරුදන් වීමට මඟක් නොමැත්තෙන්
මහත් සේ කැළඹීමට පත්වූ ඔහු වහා තම අල්ලේ උණ්ඩි කර ගත් කාසිය වැඩිමහල් දැරිය වෙත දිගු කළේත්, එක් විට ම ය. දැරිය මව වෙත දිව යන්නට පය එස වූයෙත් එක් විට
ම ය. එහෙයින් දැරිය, ඔහු අත දිගු කරනු දුටුවේ නැත. බෙලෙක් එ් සමඟම ආපසු හැරී
කඩිනම් අඩි කිහිපයක් පෙරට තැබුවේ ය. එහෙත් ඔහුට අඩි හතර පහකට වඩා ඉදිරියට
යාමට නො හැකි විණි. ‘‘එ්යි...... ඔහොම හිටපං............ දැක්ක ද ආඳා වගේ ලිස්සල යන්න
හදන හැටි.........”
දෙකන් කීරි ගස්සන කටුක ගැහැනු කට හඬක් බෙලෙක් පසු පසින් මතුවිණි.
බෙලෙක් ගල් ගැසුණේ ය. ඔහුට හීන් දාඩියක් දමමින් තිබිණි. උගුලකට හසුවූ සතෙකු
ඉන් බේරී පලා යන්නේ කෙසේ දැයි නොදැක බියපත් වන්නේ යම් සේ ද එබඳු ම බියකට
තරුණයා ද පත්විණි.
හීන්දෑරි ස්ත‍්‍රිය කටු ඉපලක් මෙන් දිස් විය. ඇගේ රතු දෙතොල් කෙළවර නිරන්තරයෙන්
බුලත් සැපීම නිසා පැළී ගිය රෝස පැහැ රේඛා කැපී පෙනිණි. ඇගේ උස් තියුණු හඬින්
අවට පැල්පත් දෙක තුනක ගැහැනු ද, කොලූ කුරුට්ටෝ ද වහා බෙලෙක් වට කොට
වළල්ලක් පරිද්දෙන් සිට ගත්හ.
” ඕ මේ අර බෙලෙක් නෙ උඹ කොහෙද බං............. මෙහේ.......... ?”
බෙලෙක් හඳුනා ගත් කඩමාලූ දිග ගවුමක් හැඳ සිටි ගැහැනියක් කීවා ය. ඔහු ඇය දෙස
රවා බැලූ නමුත් වහා තමා පත් ව ඇති තත්ත්වය තේරුම් ගනිමින් තම බැල්ම වෙනස්කර
ගත්තේ ය. කළු අත්කොට බැනියමක් හැඳගත් මරුමුස් ගැටවරයෙක් ගොදුරක් දුටු කොටියකු
මෙන් කුරුමානම් අල්ලමින් සිටියේ ය. කොයි මොහොතේ හෝ ඔහුගේ මිට මෙළවුණු අතින්
මුහුණ හරහා පහරක් එල්ල වෙතැයි බෙලෙක් පසු වූයේ සෝදිසියෙනි.
”ඇහුලූවනං දීපං රුපියල් පහ.............”
”දෙන්න හැදුවෙ........... ඇහුලූවෙ නෑ.............”
”හැජුව........... එහෙනං දීහංකෝ ........... ඇයි යකෝ .......... තෙල් ටික ගේන්න රුපියල්
පහ දුන්නෙ. තොගෙ අල්ල හිල් වෙලා ද යකෝ එ්ක හලා ගත්තෙ.........?
ස්ත‍්‍රිය අවසාන වචන ටික කීවේ කුඩා දැරියගේ හිසට ටොක්කක් අනිමිනි.
”ඌයි ” ගා පහත් වූ දැරිය බෙලෙක් දෙස බලා දත් විලිස්සුවා ය. ”ඇච් චැච් චැච්
චැච්............”
”ඉතිං ඇහුල්ල නං දෙන්න කියපල්ලකෝ...........”
”හහ්, මාරු වෙන්න හදන්නේ...........”
”මාරු වෙන්න ......... අඩෝ.........”
හදිස්සියේ ම කුමක් වුවත් ඇත්ත කියා සිටිය යුතු බැව් බෙලෙක්ට වැටහිණි. වචන ............
ඔහුට නැත්තේ වචන ය. එහෙත් වහා ඇත්ත කිව යුතු ය.
”මගෙයි රුපියල් පහ.......... මං දෙන්නයි හැදුවේ..........”
කොතෙක් උත්සාහ කළත් ඔහුගේ මුවින් පිට වන්නේ එ් වචන දෙක තුන පමණි.
”දෙන්න........”
”උඹගෙ ලූ .......... ආයි දෙන්න ලූ හුඃ.......... හුඃ........... ”
දුර්වර්ණ දිග ගවුමින් සැරසුණු අනික් ගැහැනිය අත්පුඩියක් ගසා නැමී දෑත දෙදණේ ගසා
ගනිමින් කොක් හඩලා සිනාසුණා ය. එ් සමඟ ම දෙතුන් දෙනෙකු එකවර කතා කිරීමට
පටන් ගත්තෙන් කිසිවක් පැහැදිලි ව නෑසිණි.
මෙය තේරුම් කර දෙන්නේ කෙසේ ද? කළු විදුරු මසේ නෙරූ නල දත පෙන්නා ගෙන
ඉන්නා ගැටවරයා දෙස බලා බෙලෙක් හිස කැසුවේ ය.
එ් සමඟ ම හදිසි අදහසක් ඔහුගේ සිහියට නැගුණි. ඔහු හනික රුපියල් පහේ කාසිය
සහිත අත්ල දිගු කළේ ය.
”ඔන්න.........”
පහදා දෙන්නට හෝ තර්ක කරන්නට නොම ගොස් කාසිය දී යාම හොඳ ය යන්න ඔහු
සිහියට නැගුණු අදහස ය. ඔහු එසේ කාසිය පෑවේ එබැවිනි. දැරියන්ගේ මව වහා ඉදිරියට
පැන අතින් රුපියල් පහ ඩැහැ ගත්තී එය දෑසට ළං කොට නරඹන්නට වූවාය. මොහොතකින්
ඇගේ දෑසේ වූ රළු පෙනුම වෙනස් වන්නාක් මෙන් බෙලෙක්ට හැඟිණි. ස්ත‍්‍රිය කාසිය
දෙපැත්ත පෙරළමින් හොඳ හැටි පරීක්ෂා කොට බලනු දැක ගත හැකිවිණි.
”මං බැලුවෙ කාගෙද පහ කියල, කෝ මගේ ඇහැ පේනවා..........”
හඳුනා ගත්තා, නොගත්තා ඊළඟ තප්පරයේ වහා අත්ල කාසිය ද සමඟ උණ්ඩි වී පහළට
වැටී අනතුරුව දිග ගවුම් සාක්කුව තුළට ද යැවිණි. ඇගේ මුවින් එ් වචන පිට වනවාත්
සමඟ ම බලාපොරොත්තුවකින් බෙලෙක්ගේ දෙනෙත් ප‍්‍රාණවත් විය. එ් සමඟ ම මෙතෙක්
වෙලා අමතක ව තිබු වචනයක් ද ඔහුට සිහිපත් විණි.
”පවු හින්ද දෙන්න ගියේ ..........” යි කියවෙත් ම ඔහුුගේ දෙනෙත වැඩිමහල් දැරිය දෙසට
හැරිණි. රැුස්ව සිටිනා අයගෙන් වැඩියෙන් ම නිර්දෝෂි භාවය ඔප්පු කරගත යුත්තේ ඇයට
යැයි ඔහු සිතුවාක් මෙනි.
මං දුන්න පහට වඩා නං මේක අලුත් පහේ............ මට මතකක් නෑ එතකොට එහෙනං
මං මේකිට දුන්න පහ කෝ...........?
”එ්ක හොය හොය හිටියෙ මං එන කොට...........”
”ඇහිලූවෙ............”
”මං ඇහිලුවෙ නෑ ......... පවු හින්දා මගෙ රුපියල් පහ දෙන්න හැදුවේ .......”
ස්ත‍්‍රිය වහා කුඩා දැරිය වෙත හැරුණා ය.
”උඹ දැක්ක ද අහුලනවා.........?”
”නෑ .........”
”ඇහිලුවෙ නෑ.......... මං දෙන්න ගියෙ පවු හින්දා.........?”
බෙලෙක් වාසනාවකට මතක් වූ එ් වචනය නැවත නැවත යොදමින් සිද්ධිය පැහැදිලි
කිරීමට උත්සාහ කළේ ය. අනතුරුව කලිසම් සාක්කුවේ වු සියලූ කාසි එළියට ඇද ගත්තේ
ය. සුදු පැහැ රුපියල් දෙකේ කාසිය ද, රුපියලේ කාසිය ද ශත පනහේ කාසිය ද එතන
විය. ඔහු උඩ සාක්කුවෙන් කොළ පැහැති රුපියල් දහයේ කොලයක් ද ගෙන පෙන්නුවේ ය.
”මේ සල්ලි, අද වැස්සේ නැත්තං මං මේ වෙන කොට අසුවක බෙලෙක් විකුණලා හෙට
කරත්තෙට දෙන රුපියල් විස්සත් වෙන ම තියෙනවා............. තව පෙට්ටියෙත් තියෙනවා.
මට නම් ඔන් නෑ අනුන්ගෙ සල්ලි........... මං අර පවු කියල........"
බෙලෙක් මුදල් ටික නැවත සාක්කුවලට දමා ගත්තේ ය.
කෙට්ටු ස්ත‍්‍රියගේ උල් දෑසට කාසි අතර පොට්ට පාට වූ රුපියල් පහක් නො වූ බව
හොඳට ම විශ්වාස ය.
”ඔව් ............ ඔව් ............. හොරෙක් නෙමෙයි ............ මං දන්නැද්ද හම්බු කොන්න එකා
.............. ඇයි වදේ ”
මුලින් ම තරුණයා හඳුනා ගත් ස්ත‍්‍රිය කීවා ය. ගවුම් සාක්කුවෙන් රුපියල් පහ ගෙන
කුඩා දැරියගේ අත්ලේ ඇන්න මව ඇගේ උරහිසින් අල්ලා ඉදිරියට තල්ලූ කළා ය.
”පල ගිහිංං භූමිතෙල් කාල දැන් වත් ගෙන ............ ඉතුරු නොහල ........ බලා
ඉන්නෙ................”
කුඩා දැරිය බිම දමා තිබූ බෝතලය ද ගෙන වහා පැන දිව්වා ය.
”යමං බං යන්ඩ........... තව පොඩඩෙන් අයිනව හොම්බ රිවට් වෙන්න...........”
මරුමුස් ගැටවරයා තවත් කොලූවෙකු ද තල්ලූ කරගෙන නික්ම ගියේ ය. වටවූ පිරිස ද
බිමට නැඹුරු කරගත් දෙනෙත්වලින් තණ කොළ හා දූවිලි තීරුව පිරික්සා බලමින් අලස
ලෙස විසිර යන්ට වූහ.
”දැක්ක ද මේකිගෙ තරම............ බෝම්බෙ............ රුපියල් පහ නැති කොරං ......... තව
පොඩ්ඩෙං මේ ළමය අහුවෙන්නේ. බලං කෙල්ලේ ඇති ඔය කොහේ හරි විසි වෙලා .............
ඇයි අස්ප ගාය නෙ මුංට.............. ඇහිලුවොත් මේ ළමයට දීල යවන්නත් බැරියෑ...........”
”මට ඕන්නෑ ............ මං ........... යනවා.............”
බස් රියක් කළු දුම් පිට කරමින් ඔවුන් පසු කොට ඇදී ගියේ ය. දුව ගොස් එහි එල්ලෙන්නට
සිතුණ ද බෙලෙක් එ් සිතුවිල්ල ක‍්‍රියාවට නැගුවේ නැත.
ගැහැනිය දවසකට රුපියල් අසූවක් සොයන තරුණයා දෙස බලා බුලත් කසට බැඳි දත්
දෑන්ද පා සිනාවක් නැගුවා ය. එය ඉතා ළෙංගතු සිනාවකි. අවුරුදු දහ හතක දහ අටක
දියණියක සිටිනා ඕනෑම පැල්පත් වාසී අම්මා කෙනෙකුගේ ළෙංගතු සිනාවක් නැගීමේ
අරුමයක් නැත. වැඩිමහල් දැරිය ද බිම තණ කොළ පාගමින් බෙලෙක් දෙස හොරැහින්
බැලුවා ය.
”අර තියෙන්නේ අපේ ගේ...............”
ස්ත‍්‍රිය පාර අද්දර අටවා තිබූ කුඩා තහඩු පැල්පත දැක්වූවා ය.
”එ්ක ද? ”
”ඔව් ............ ඔය යන එනකොට එන්න බැරියැ...............”
බෙලෙක් බියෙන් සැකයෙන් තොර ව දැරිය දෙස බලා සිනාවක් පා ආපසු හැරී ගමන්
කරන්නට වූවේය. යාර විස්සක් තිහක් ගොස් ආපසු බැලූ ඔහුට මවත් වැඩි මහල් දියණියත්
පාරෙන් මඳක් ඉවතට වන්නට නැමී රුපියල් පහ සොයනු දැක ගත හැකිවිණි.
පසුදා උදයේ ද අහස අදුරු කර තිබු නමුත් බෙලෙක් රැකියාවට පිටත්ව ගියේ ය. මහත්වූ
ප‍්‍රබෝධයක් ඔහුගේ කඩිනම් ගමනින් ද වැඩ පළින් ද පළවිණි. ඔහු පෙරේදා වට වැස්සෙන්
වතුර පිරුණ ටින් කබල් එකතු කොට මිටි පහර දී තලා ගෝනියට දමා ගත්තේ වේගයෙනි.
උදයටත් සවසටත් තව එක වත්ත බැගින් වැඩි කළ හොත් රුපියල් සියයකට කිට්ටු
මුදලක් එකතු කර ගන්නට අසීරු දැ යි ඔහු ගණන් බැලුවේ ය.
කරත්තය තල්ලු කරගෙන යන බෙලෙක්ගේ මුවින් ගීයක පද මිමිණෙන්නේ ඉබේට ම ය.
ඔහුගේ හදවතේ මුල්ලක කිතිකැවෙන බලාපොරොත්තුවකි.
අලුත් මල්කඩුවාවේ ගාමිණී ඒකනායක
කාලාන්තරයක් තිස්‌සේ දිගින් දිගටම පැවති දැඩි නියඟයෙන් බැට කෑමෙන් හෙම්බත්ව බැරිම තැන නියං ආධාර ඉල්ලා මාස ගණනක් තිස්‌සේ අධ්‍යක්‍ෂතුමාගෙන් කරන ලද දුක් ගැනවිලිවලින් කිසිදු පලක් නොවන බව පසක් කරගත් අලුත් මල්කඩුවාව ජනපද වාසීන් අධ්‍යක්‍ෂතුමාගේ කාර්යාලය ඉක්‌ඉක්‌මන්ව අමුඩ පෙළපාලියකින් ගොස් වටකිරීමට තීරණය කර ගත්හ. මේ ආරංචිය විදුලි වේගයෙන් අධ්‍යක්‍ෂතුමාගේ කනට යත්ම ඔහුගේ සියොළඟම වෙව්ලා ඉහිං කනිං දාඩිය දාන්නට පටන් ගත්තේය. ඔහු වටපිට බලා තම ටයි පටියෙන් තම මුහුණේ තිබූ දහදිය පිසදා ගත්තේ දිගු හුස්මක් පිට කරමිනි.
"තිලකසිරි ... අර ජනපද නිලධාරි එක්‌ක දැන්ම ගිහින් ගොවියෝ ටික ෂේප් කරල දානවා. මම ඉක්‌මනින් කොළඹ ගිහින් ලේකම්තුමා මුණගැහෙනකල්. තමුසෙලාවත් නියඟෙ මෙච්චර තද වෙලා.. ගොවියන්ට වතුර ප්‍රශ්නයක් කියල කීවෙ නැහැනෙ.
"ඇයි.. සර් මම කී සැරයක් කීවද? ගොවියන්ට වතුර නෑ කියලා...
"කීව තමයි... හැමදාම නියඟනෙ.. කවුද දන්නෙ ඔච්චර හිර වෙලා කියල.... දැන් ඉතිං කියල වැඩක් නෑ. අදම ගිහිං මොනව හරි කරනවා... මේක වටකෙරුවොත් මගේ පටි රෝල්....
කැරකෙන විදුලි පංකාව දෙස බැලූ අධ්‍යක්‍ෂතුමා සේවකයාට කෑගසුවේය.
"අරිනවා ඔය ජනේලෙ ටිකක්..."
හාත්පස පරිසරය වෙනදාට වඩා කහ පැහැ ගැන්වී කටු පඳුරු බවට පත්වී ඇති බව ජනෙල් කූරු අතරින් අධ්‍යක්‍ෂවරයාට පෙනුනේය.
"ඇත්ත තමයි කාලෙකින් වැහැලත් නැහැ. ඔහු තමන්ටම කියා ගත්තේය. කල්පනා සාගරයේ නිමග්නව සිටි අධ්‍යක්‍ෂ තුමා හදිසියේ නාදවුණු දුරකථනයේ හඬින් උඩගොස් බිමට වැටිණි.
"මේ ඇමැතිතුමා කතා කරන්නේ"
"ඔව් සර්.."
"මොනවද අයිසේ තමුසෙලා මේ කරන්නේ... මල්කඩුවාවෙ මිනිස්‌සු මගෙ ගේ වටලන්ඩ ලෑස්‌තිය... මොකද්ද ඔය වතුර හුටපටේ.... "
"සර්...මේකයි... මම මේ සැරේ ගොවියන්ට මුලින්ම රැස්‌වීමක් තියල කීව..වැවේ වතුර නැහැ ගොවිතැන් කරන්ට එපා කියල. ගොඩ ගොවිතැන් විතරක් කරන්ට කියල.. කාලගුණේ උපදෙසුත් ගත්තා. ඒත් මේ ගොල්ල ඇහුවෙ නෑ..." අධ්‍යක්‍ෂවරයා අමුබේගල් රාශියක්‌ම ඇදබෑවේය.
"බම්බුව තමයි. මිනිස්‌සු කියන්නෙ තමුසෙ කවදාවත් ගොවි කමිටු රැස් කරල නෑ කියල..."
"ඔය බොරු සර්.. ඔය යක්‌කු මාත් එක්‌ක තරහයි. අර සර්ට ගෙයක් හදන්න වැවේ රිසිවේෂන් එක මැනල දුන්න දා ඉඳල... උන් දවසක් සර්ටත් පලුයන්ට බැනල ගියා..."
ආ... එහෙමද... වරෙන්කො ආයෙ මං ගාවට එහෙනම්... ඒ වුණාට අයිසෙ උන් තරහ කරගත්තොත් ලෝක ලෙඩක්.." සේරම මට ඡන්ද දුන්න වුන්... මම ලේකම් එක්‌ක කතා කරන්නම්... තමුසෙ මොනව හරි කරන්ට බලනවා..
"හරි සර්"
වැවේ රිසිවේෂන් කතාවෙන් ඇමැතිතුමාගේ සැර බාල කරන්ට හැකිවීම ගැන අධ්‍යක්‍ෂවරයා දෙවියන්ට පින් දුන්නේය. "රිසිවේෂන් එක ලොක්‌කට මැන්න කියල තව මිනිස්‌සු දන්නෙත් නෑ..." ඔහු යටි සිතින් සිනාසුනේය.
"ලේකම්තුමා .. හරි වැඩේ... මගේ පළාතේ මිනිස්‌සු වගයක් මාව වට කරන්ට හදනවා. කුඹුරුවලට වතුර නෑ කියලා.. මොකද දැන් කරන්නෙ..."
"කුඹුරුවලට වතුර නැත්තෙ වහින්නැති හින්දනෙ..එතකොට වැව් පිරෙන්නෑ.. ඉතිං වහින්නැති එකට ඔබතුමාට කරන්ට දෙයක් නෑනෙ... කරන්ට තියන එකම දේ නියං ආධාර දෙන එක විතරයි."
"එහෙනම් අනේ මොනව හරි කරල මේකෙන් මාව ගොඩදාන්න බලන්ඩකො.."
"හරි සර්"
ලේකම්තුමා දඩිබිඩියේ පළාත් අධ්‍යක්‍ෂවරයාට කතා කළේය. හැකි ඉක්‌මනින් නියං ආධාර ලබා ගැනීමට සුදුසුකම් ලබන අයගේ ලැයිස්‌තුවක් සකස් කර සුමාන දෙකක් ඇතුළත තමා වෙත එවන ලෙස නියෝග කළේය.
"අධ්‍යක්‍ෂතුමා මොකද තත්ත්වේ"
"සර්.. ලේකම්තුමා ඊයෙ මට කතා කළා. නියං ආධාර ලැයිස්‌තුව ඉක්‌මනට එවන්න කීවා.. මම දැනටමත් ඇක්‌ෂන් අරගෙනයි තියෙන්නෙ. ජනපද නිලධාරියි, අළුත් මල්කඩුවාවෙ වීරකෝන් ග්‍රාම නිලධාරියි පිටත් කළා."
සුමාන තුනකින් විතර නියං ආධාර ලැයිස්‌තුව අධ්‍යක්‍ෂ කාර්යාලයේ ප්‍රසිද්ධ කිරීමත් සමගම අලුත් මල්කඩුවාව ජනපදයේ ගොවියෝ දෙබරෙට ගල් ගැසුවාක් මෙන් නොසන්සුන් වූහ. පළාත් අධ්‍යක්‍ෂගේ දුරකථනයට තොරතෝංචියක් නැතිව ඇනුම් බැනුම් දෙස් දෙවොල්ය.
"මොකක්‌ද අයිසෙ වැඩක් කරන කොට හරියට කරනවාකො.. මෙතන මිනිස්‌සු පිරිල.. ඇත්තද කුඹුරු නැති මිනිස්‌සුන්ගෙත් නම් දාල... කුඹුරු තිබුණ මිනිස්‌සු කැපිල කියල.. ඔය කෙහෙල්මල් ලැයිස්‌තුව වහාම අවලංගු කරනවා..."
ඇමැතිතුමා බැනගෙන බැනගෙන ගියේය.
"සර් මට ලේකම්තුමා කීවෙ හැට හැත්තෑවකට වඩා නම් ලැයිස්‌තුවක් හදන්න එපා කියලා. සල්ලි නෑ කියලා. සර්ගෙ අර නෑදැයො ටිකත් බල කරල තියනවා නම් ටිකක් දාන්ට... ප්‍රශ්නයක් ආවොත් එයාලා බලාගන්නම් කියල.. ඒකයි වෙලා තියෙන්නේ. එතකොට ඉතින් කට්‌ටියකගෙ නම් කැපෙනවා තමයි."
"එහෙමත් එකක්‌ද... ඒත් ඉතින් ඕව පත්තර කාරයින්ට ගියොත් විනාසයි. කොහොමටත් ලැයිස්‌තුව අවලංගු කරනවා. නෑදෑයෝ කියලා බලන්ට එපා. අනික මම හදිසියේ රට යනවා. පුළුවන් වුණොත් ඔය ගොවියො සේරමයි ඔය කියන කට්‌ටියයි සේරමට දෙන්ට පුළුවන්ද කියලා බලමු. මම එනකල් මොකවත් කරන්ට එපා.. මිනිස්‌සු ඇහුවොත් කියනවා නියං ආධාර ගැන කතා කරන්ට පිටරට ගියා කියලා. මොනවා හරි කියල මිනිස්‌සු කොන්ට්‍රොල් කරන්ට බලනවා.
සර් ඔය මිහින්තලේ ඉඳල ආව වැලිවිට කියල හාදයෙක් ඉන්නවා. මිනිහ තමයි අමාරුකාරයා... සෙනඟ අවුස්‌සන්නෙ මිනිහ.. එයා ටිකක් ඕනෑවට වැඩියි.
"හරි හරි මම මිනිහට වැඩක් සෙට් කරල යන්නම්... තමුසෙ බය වෙන්ඩ එපා.."
නියං ආධාර පිළිබඳ ගැටලුව පසුදිනම පත්තර, රූපවාහිනි වලින් පමණක් නොව නිලධාරීන් පමණක් නොව ඇමැතිතුමාද පට්‌ටා ගැසුවේය.
"මේ යක්‌කුන්ටත් ඕනෑ පත්තර විකුණගන්නට මොකක් හරි කුණු ගොඩක් අවුස්‌සන්ඩ. දෙයියනේ කියලා මදැයි නිස්‌කලංකෙ පිටරට යන්ඩ හිටියා." ඇමැතිතුමා මුමුණන්නට පටන් ගත්තේය.
මාස දෙකක් පමණ වූ නිල සංචාරය අතරවාරයේ තම දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුද මැනවින් සොයා බලන ඇමැතිතුමාට ලේකම්තුමාගෙන් හදිසි පණිවිඩයකි.
"සර්.. හරි වැඩේ දැන් දවස් ගාණක් වැහැල.. වැහැල වැව් කඩාගෙන ගිහින් ගංවතුර දාන්ඩ පටන් අරන්... අර සර්ගේ පළාතෙ නියං කේස් තිබ්බ වැව දැන් ඔන්න කඩාගෙන ගිහින් අලුත් මල්කඩුවාව ජනපදය බාගයක් වතුරෙන් යට වෙලාලු..."
"මේ මඟුලෙ එක්‌කො.. පෑවිල්ල එක්‌කො ගංවතුර... ලේකම්තුමා දැන්ම අවශ්‍ය පියවර ගන්න. ඉන්ඩ හිටින්ඩ තැනක් නැතිනම් ඉස්‌කෝලයක් දෙකක් වහල හරි ගන්ඩ. එතන තියනවා අලුත් පන්සලේ බණමඩුවත් හාමුදුරුවෝ අකැමැති වෙන එකක් නැහැ."
"සර් ගංවතුර ආධාර ලැයිස්‌තුවක් හදන්ඩ වෙයි.."
"ඔව් අර නියං ආධාර ලැයිස්‌තුව පැත්තකින් තියල ගංවතුර එකක් හදන්ට වෙයි. මම දවස් 2 -3 කින් එනවා."
ඇමැතිතුමාගේ විධානයෙන් ක්‍ෂණිකවම ක්‍රියාකාරී වූ ලේකම්තුමා පළාත් අධ්‍යක්‍ෂවරයාට සියලුම ගංවතුර අනාථයන් ගාල් කරන ලෙසත් ඉක්‌මන් සහනාධාර දෙන ලෙසත් දන්වන ලද අතර සුමාන දෙකක් ඇතුළත ගංවතුර ආධාර ලැයිස්‌තුවක් තමා වෙත එවන ලෙසත් නියෝග කළේය.
"නියං ආධාරත් නෑ... ගංවතුර ආධාරත් නෑ... නිලධාරීන්, බලධාරීන් මරනින්දේ..." සුමානයක් යෑමටත් පෙර පුවත්පත්වල පොල්ගෙඩි අකුරින් පළවී තිබිණි.
ලහි ලහියේ සකස් කරන ලද ගංවතුර ආධාර ලැයිස්‌තුව ලේකම්තුමාගේ අනුමැතියෙන් පළාත් කාර්යාලයේ ප්‍රසිද්ධ කිරීමත් සමග නැවතත් මල්කඩුවාව ජනපද වාසීන්ගේ ඉවසීමේ සීමාව ඉක්‌මවා ගියේය.
"අනාථයෝ කැපිල, පදිංචියවත් නැති වුන්ගෙ නම් දාලා. මේව හෙන ගහන වැඩ.." ජනතාව ඇඳිවත පිටින්ම කෑකෝ ගසන්නට පටන් ගත්තෝය.
ලේකම්තුමා සමගින් ඇමැතිතුමාගේ සම්ප්‍රාප්තිය පළාත් අධක්‍ෂවරයාට මහත් අස්‌වැසිල්ලක් ගෙන දුන්නේය. පිරිස ඇමැතිතුමා වටකරගෙන කෑකෝ ගසන්නට පටන් ගත්හ.
"නියං ආධාර ලැයිස්‌තුවක් හැදුවා ඒකත් වැරැදියි... ගංවතුර ලැයිස්‌තුවක් හැදුවා ඒකත් වැරැදියි. දෙකෙන්ම අපට තමා අසාධාරණය වුණේ..."
"හරි මම දෙගොල්ලන්ටම ඉක්‌මන් විසඳුමක් දෙනවා... කලබල කරන්ට එපා. දැන් මම ඉන්නවනෙ කිසි දේකට බය වෙන්න එපා... මේකට අපි ඉක්‌මනින්ම රැස්‌වීමක් කැඳවන්නම්.."
ඇමැතිතුමාගේ විධානයෙන් පිරිස සන්සුන් වී එකා දෙන්නා විසිර ගියහ.
"ලේකම්තුමා.. නුවර පැත්තෙ හොඳ තැනක රැස්‌වීමක් ඉක්‌මනින්ම කෝල් කරන්න. සේරම මාධ්‍ය වලටත් දන්වන්ඩ. අර ගංවතුර නියෝජිතයෝ කීපදෙනකු විතරක් සහභාගි කරවන්ට. එතන නැද්ද අපිට සපෝට් කීප දෙනෙක්.. එහෙම වුණොත් කරදරයක් නෑ. හැබැයි මම ටිකක් ඔබතුමාටත් එක්‌ක නිලධාරීන්ට තදින් කෑගහනවා. ගණන් ගන්ඩ එපා හරිද..."
"හරි සර් හරි සර්.... ඒක නෙමෙයි සර් එන ගමන් ඩියුටි ප්‍රී එක පැත්තෙ යන්ඩ ඇතිනේද ..."
"තමුසෙලාටත් ඕයි ඕවටනම් දිවියඥානය තියනවා. හවස බලමු බලමු... කාරෙකේ ඇති."
"ඕකේ සර්..."
ඇමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය සාකච්ඡාව මහ ඉහළින් පැවැත්විණි. පුවත්පත් ගණනාවක් මෙන්ම රූපවාහිනි නාලිකා රාශියක්‌ද පැමිණ සිටියහ. කහ පැහැති ටුවිඩ් රෙද්දෙන් නිම කරන ලද ජාතික ඇඳුම ඇමැතිතුමාට අමුතුම තේජසක් ගෙන දුන්නේය. දෑතම සැරසූ රන් මුදු කීපය රූපවාහිනි විදුලි එළිවලින් විටින් විට බැබලුණි. එක් අතක පිරිත් නූල් වෛවාරණ පාට වලිනි. ඔහු ජංගම දුරකථනය මේසය උඩ තබා පිරිස දෙස බැලුවේය. පිරිස මීයට පිම්බාක් මෙනි.
"ඔව් දැන් කියන්ට ප්‍රශ්නේ... කොයි අපේ ගොවි මහත්තුරු ටික. ලේකම්තුමා හොඳට මතක තියාගන්ට ඕනෑ මේ සේරම මගේ පළාතේ දුප්පත් මිනිස්‌සු..."
ගොවි නියෝජිතයෝ වක්‌කඩ කැඩුවාක් මෙන් සියලු දෙනාටම බැණ වැදුනහ.
"සර් නියං ආධාර ලැයිස්‌තුවක් හැදුවා ඒකත් වැරැදියි ඒකෙනුත් අපි කැපිලා... ගංවතුර ලැයිස්‌තුවක් හැදුව ඒකෙනුත් අපි කැපිලා. සමහරු මේ දෙකටම අහුවෙලා ඒත් නව නැහැ. සමහරු එකකට විතරයි අහුවෙලා තියෙන්නෙ..."
"මේ දෙකේම මේ පළාතෙත් නැති අයගේ නම් තියනවා. මේක හරි අසාධාරණයි." පිරිසගේ කච බචය එන්න එන්නම වැඩිය.
"සේරම නවත්වනවා සද්දේ..." ඇමැතිතුමා උස් හඬින් කෑගසුවේය. පිරිස ටිකෙන් ටික සන්සුන් විය.
මේ සේරමට මුල අපේ නිලධාරීන්ගෙ වැරැද්ද, දුප්පත් මිනිස්‌සු ගැන හිතන්නෙ නෑ. නිලධාරීන් මීට වඩා සිහිබුද්ධියෙන් වැඩ කරන්ට ඕනෑ. මං මේ නිලධාරි වෙනුවෙන් සමාව ඉල්ලනවා. දැන් කරන්ට දෙයක් නැහැ. ලැයිස්‌තු දෙකේම අයට අවාසියක් නොවන විදියට මේ ලැයිස්‌තු දෙකම අයින් කරල අලුත් ලැයිස්‌තුවක් හදන්න මම නියෝග කරල තියෙන්නේ. මේ නිලධාරිවාදය ඉවරකරන් නැතිව දුප්පත් මිනිස්‌සුන්ගෙ ප්‍රශ්න විසඳන්ට බෑ." ඇමැතිතුමාගේ කතාවට අත්පුඩි ගැසූ පිරිස ඝෝෂා කළහ.
"කවුද මේකට වගකිවයුතු නිලධාරීන්..." ඇමැතිතුමාගේ හඬ වේගවත්ය. පයිල් ගොඩක් බදාගත් ටයි පටියක් පැළඳගත් පළාත් අධ්‍යක්‍ෂවරයා නැගී සිටියේය.
"සර් මේ වැව හින්දා මේ පළාතේ අයට හරිම කරදරයි. කුඹුර තිබුණට වැඩ කරන්න වතුර මදි.. එක්‌කෝ වැඩියෙන් වහින කාලෙට වතුර රඳන්ට ඉඩ නෑ. එතකොට ගංවතුර ගලනවා. මේකට අපිට වගකියන්ට බැහැ. නියං ආධාර ලැයිස්‌තු හදන්ටත් කාලයක් යනවා. ඒක හැදුවෙ වෙනම කට්‌ටියක්. අපි හැදුවෙ ගංවතුර ආධාර ලැයිස්‌තුව විතරයි. වැරැදි තැනක තමයි මේ වැව හදල තියෙන්නෙ."
"කවුද මේක හැදුවෙ. අදම වැඩ තහනම් කරනවා..." ඇමැතිතුමාගේ කේන්තිය ඉහ වහා ගියේය.
"සර් මේ වැව හැදුවෙ මහසෙන්."
"කවුද මහසෙන් කියන්නෙ. පළාත් අධ්‍යක්‍ෂද, ප්‍රාදේශීය ඉංජිනේරුවාද, කවුරු වුණත් මට කමක් නෑ.. තරාතිරම නොබලා ඉන්ටඩික් කරනවා." ඇමැතිතුමාට යකාගේ කේන්තිය ඇවිස්‌සී ඇත.
"නෑ. සර් මහසෙන් කියන්නේ රජ කෙනෙක්."
"ආ. ඒක මිසක්.. එහෙනම් ඉතින් කරන්ට දෙයක් නෑ. හැබැයි රඡ්ජුරුවො කෙරුවනම් හරියට කරන්ට ඇති. එක්‌කො නිලධාරීන් මේව හරියට නඩත්තු කරන් නෑ. එහෙම නැත්නම් කුඹුරු වැඩියෙන් අස්‌වද්දල ඇති. කොහොම වුණත් මම ගොවියන්ට අසාධාරණයක් කරන්ඩ තියන්නෙ නෑ. දැන් සේරම යන්ඩ."
ඇමැතිතුමාගේ කතාවෙන් සෑහීමකට පත් වූ පිරිස සතුටින් විසිර ගියහ.
"ලේකම්තුමා මේ ආධාර ලැයිස්‌තු හදනකොට ඒකෙ තියනවා ක්‍රමයක්. නියං ආධාර ලාභීන් තෝරන ක්‍රමයට ගංවතුර ආධාරලාභීන් තෝරන්ට බැහැ. මේ දෙක දෙකක්.. ආවට ගියාට කරන්ට බැහැ. දැන් කරන්න තියෙන්නෙ ලැයිස්‌තු දෙකම වැරැදි විදියට හදලනෙ. දැන් තියෙන්නෙ මේ පිළිබඳව හොඳ අධ්‍යයනයක් කරල කවුරුත් සෑහීමකට පත්වෙන ලැයිස්‌තුවක් හදන්ට."
" මේක අධ්‍යයනය කරන්න ඕනෑ නෑ. ලේකම්තුමා නිලධාරීන් කීප දෙනෙක් නියඟය වැඩියෙන් තියන රටකටයි කීපදෙනෙක් ගංවතුර හානි වැඩියෙන් තියෙන රටකටයි ඇරල පුහුණුවක් දෙන්ට. ඒ ඒ රටවල මේව කරන හැටි ඉගෙන ගෙන ඉක්‌මනට මේ වැඩේ ඉවරයක් කරනවා. දැන් හවස් වෙන්ඩත් ආවා ඉවරයක් කරමු."
"හරි සර් හරි සර්"
"ගංවතුර ගලා... උතුරා...යයි... දෙගොඩ තලා... අපි...පදිමු...පදිමු...ඔරුවෙ නැගී.... එගොඩ බලා..." ජනප්‍රිය ගායක එඩ්වඩ් ජයකොඩිගේ ගීතයට මුසු වූ රිද්මයානුකූල අත්පුඩි නාදය ආරක්‍ෂක රැකවල්ලුද ආශාවෙන් සවන් දී සිටියහ.
කුමාර හෙට්‌ටිආරච්චි
යකා නටනවා වාගේ විදුලි කොට කොටා ආකාසේ මළබෙර ගහයි. තිත්ත කළුපාට වැහි වළාකුළු කඳුයාය ඉහත්තාවේ පාවාඩ එලයි. ඝනාන්ධකාරය පොළොවේ හැපි හැපී ලතෝනි දෙයි. තාරකා හතර පහක් කඳුළු කැට වගේ දිලිසෙයි. සීතල සුළඟට තුරුළු වෙමින් කිතුල් හේඩෑව සර සර ගා සසල වෙයි. පොල් කරටි ඇඹරි ඇඹරී වෙස්‌සන්තරේ කියයි. මළගමක මූසල පාළුවෙන් හතර දිග්බාගයම පරල වෙයි.
වෙලාව රෑ දෙගොඩ හරියට ඇත. අක්‌කර ගණනාවක් පුරා පැතිර ඇති ආණ්‌ඩුවේ සොහොන් පිට්‌ටනිය රාත්‍රියට හද්ද මුස්‌පේන්තු සාංකාවකින් ඔත්පල වෙයි. හීන් හඳ පළුවෙන් බේරෙන කසාවන් මන්දාලෝකයත්, තරු කැට කිහිපයේ කඳුළු කාන්තියත් පලින් පල අඳුරු සෙවනැලි මවයි. බස්‌සකුගේ ඉකිබිඳුමට උඩින් උලමකුගේ විස්‌සෝප හඬාවැටීමක් ඉඳහිට නඟී. ඈත ඇනිකට් එක හරියේ බලු පොරයක කචබොචය නැඟී මැකී ගියේය.
වෙලාව රාත්තිරි එකට දෙකට ඇත.
ඈත මිටියාවත ඉහත්තාවේ පාළු කුඹුරු යායත්, ඊටත් එපිටහින් මතුවන පන්සල් කන්දත්, ඊටත් ඈතින් ඈතට වන මූකලානෙන් වැසී ගිය මහා කඳු යායත් වසාගෙන පැතිරෙන මීදුම් දහරින් හාත්පසම වැසී යද්දී අබේට ඈණුම් පිට ඈණුම් යයි. හේ සොහොන් පිට්‌ටනියේ අරලියලන්ද පාමුල තිත්ත කළුවරේ කළුගලක් උඩ හිඳගෙන ඈත ආකාසය දිහා හිකනලා වගේ ඔහේ බලා සිටින්නේ, ඉඳහිට අතපය දිගහැර ඇඟමැලි කඩයි. මදුරුවන් තලයි, කාරා කෙළ ගසයි.
අබේ මේ ආණ්‌ඩුවේ සොහොන් පිට්‌ටනියේ සොහොන්පල්ලාය. කෙසඟය. උසය, කළුය, කොණ්‌ඩය කොටට කපා ඇත. යටි රැවුල එළුවකුගෙන් ණයට ඉල්ලා ගත්තක් විය යුතුය. පපුවේ ඉරණං කටු පෑදී ඇත. පතුරු ගැහිච්ච ඩෙනිමට උඩින් හැඳි කළුවන් ටී ෂර්ටයේ පපුව උඩ බොබ්මාලේ දත් විලිස්‌සයි. කිහිලි දාඩියෙන් පෙඟී ගොසිනි.
කුරුන්දන් කන්ද දිහාවේ නරි හූ කියන්ට පටන් ගත්හ. හීනි හඳ පළුව වළා පොදියක ගිලී නන්නත්තාර විය. බකමූණෙක් හූමිටි තබයි. හෙණ ගහන්නා වාගේ වේලිච්ච පොල් අත්තක් කරටියෙන් ගැලවී කටු කම්බි වැට උඩට වැටිණ.
ඝනාන්ධකාරයට ඝන මීදුම ද මුහුවෙයි. රෑසියෝ තොරතෝංචියක් නැතිව විලාප දෙති. පස්‌ස ගිනිගත් කණමැදිරියෝ පඳුරුපල්ලේ සැරිසරති.
මුළු සොහොන් පිට්‌ටනියම මහා බියකරු පාළුවක ගිලී ගොසිනි.
සරස්· සරස්· සරස්·
තිත්තකරුවල ද, ඝන මීදුම ද විනිවිදගෙන කාගේදෝ අඩි සද්දයක් ළඟපාතින්ම මතුවෙයි.
අබේ පොළොං තෙලිස්‌සෙක් සේ උඩ පැන සිට ගත්තේය.
කෑලි තුනේ ටෝච් එක පත්තු කර හඬ ආ දිහාව හෝදිසි කරයි.
දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ.
අබේගේ දෑස් දොට්‌ට පැන්නේය. තොල කට වේලී දෙකන්සෙන් දාඩිය වැගිරෙයි.
සුදු සාරියක් හැඳගත් ගැහැනියක් අබේ දෙසට හෙමින් පිය මැනගෙන එයි.
ඈ ළැමට තුරුළු කරගෙන සිටින්නේ කුඩා දරුවෙකි.
ඉද්ද ගැහුවා වගේ අබේ සීරුවෙන් හිටගෙන, ටෝච් එක දල්වාගෙන බලා සිටී.
ඈ ලතාවකට, හෙමීට හෙමීට අබේ ළඟටම එයි.
"මං ආවෙ ඔයාව දැකල" ඈ මුදු හඬින් කියයි. "මට පොඩි කරදරයක්"
"ඔයා කවුද?" අබේ අසයි. "ඇයි මේ දෙගොඩහරි ජාමෙ... තනිපංගලමෙ? අනික සොහොන් පිට්‌ටනියක...?"
ඈ මොහොතක් බිම බලයි. දරුවා කිටිකිටියේ ළැමට තුරුළු කරගනී. යළිත් අබේගේ දෑස දිහාම බලයි.
"අනේ මට පොඩි කරදරයක්" ඈ වචන අහුලයි. "මං ඔයා ඉන්නව දැකලයි ආවෙ..."
"කියන්න... මගෙන් මොකක්‌ද කෙරෙන්න ඕන උදව්ව...?" අබේ කාරුණිකව ඇගෙන් අසයි. "පුළුවන් දෙයක් නම් මං උදව් කරන්නම්"
ඈ තවත් අඩියක් දෙකක් අබේ ළඟට ළං වෙයි. දරුවා අඬන්නට වගේ හදා යළිත් ඈට තුරුල් වෙයි.
"අනේ... ඔයාට පුළුවන්ද පොඩ්ඩකට මේ බබාව වඩාගන්න...?" ඈ ඉතා බැගෑපත්ව අසයි. "මං පොඩ්ඩකට අර පාර ගාවට ගිහින් විනාඩියෙන් එන්නම්...·"
අබේ දෙවරක් හිතුවේ නැත. වහා පෙරට විත්, ටෝච් එක දැල්වෙද්දීම බිමින් තබා, ඈ තුරුල්ලේ හුන් දරුවා දෝතින්ම වඩා ගත්තේය.
නුහුරු සීතලකින් මඳක් තිගැස්‌සුණු දරුවා අබේගේ පපුවට තුරුළු විය.
සුදු හැට්‌ටයක් හැඳ, සුදුම සුදු සාරියක් හැඳ, දිගු වරලස පිට දිගට මුදාහළ මේ සුන්දර යුවතිය අඩියට දෙකට ඈතට යන්නට වූවාය.
"ඔයා ඔය යන්නෙ ආපසු එන්නද?" අබේ උස් හඬින් අසයි. "නැත්තං නෑවිත්ම ඉන්නද?"
සොහොන් කොත් අතරින් මඳක් දුර ගොස් සිටි ඈ තිගැස්‌සී ගමන නතර කොට සිට ගත්තී, අබේ දෙස විමතියෙන් බැලුවාය.
"ඇයි ඔයා එහෙම අහන්නේ...?" ඈ පහන් හඬින් පිළිවිසියාය.
"නෑ මං ඇහුවෙ... ඔයා නාවොත් මං දරුවා හදනවා·" අබේ ගැඹුරු හඬින් ප්‍රකාශ කරයි. "මේ දරුපැටියා රටක් වටිනවා. මගේ මව්බිම වෙනුවෙන් මං මූ හදනවා...·"
ගැහැනිය ගල් ගැසී අබේ දෙස බලා සිටී. ඈ සුරත පපුවට ද, වමත නිකටට ද තබාගත්තී, විස්‌මපත්ව මේ පුරුෂයා දෙස බලා සිටී.
"ඔයා හරි පුදුම මනුස්‌සයෙක්‌නෙ..." ඈ කෑ ගසා කියයි. "මං දරුවව දෙන්න කී දෙනෙක් පස්‌සෙ නං ගියාද...?"
"ඉතිං....?"
"හැම පිරිමියාම පැනල ගියා මං දැක්‌කම. පණ එපා කියලා පැනල දිව්වා... එත් ඔයා...?"
"බොල යෝදියෙ.... මං දන්නවා උඹ මෝහිනී විත්තිය... උඹට ඕන නම් ඕන දීපංකරේක මකබෑවෙයං... මං මේ දරුවා හදනවා. මම අබේ...·" තිරසාර, බරපතළ හඬකින් අබේ කතා කරයි.
ඈ අයාගත් නෙතින් යුතුව, පපුවට දැතම තබාගෙන ඔහු වෙතට ඇවිද ආවාය.
"මං උඹට බයත් නෑ. මේ දරුවට බයත් නෑ." අබේ සිනාසෙමින් කියයි. "යකෝ මං උඹටයි, උඹගෙ දරුවටයි ආදරෙයි.... මං ආදරෙයි යකෝ ආදරෙයි..."
අබේ දරුවා කිටිකිටියේ තුරුළු කරගෙන කෑ ගසා කියයි.
ඈ ඉකිබිඳ හඬන්නට වූවාය. පපුවෙහි අත් ගසා ගනිමින් හඬන්නට වූවාය. කඳුළු පෙර පෙරා හඬන්නට වූවාය.
ඉනික්‌බිත්තෙන් ඈ ළඟටම පැමිණ අබේගේ පාමුල හිඳ ගත්තාය.
අබේ ද දරුවා තුරුල් කරගෙනම ඈ අසලම හිඳ ගත්තේය.
"ඔයා නම් පුදුම මනුස්‌සයෙක්..." ඈ වෙව්ලන දෙතොලින්, දයාර්ද්‍ර හඬකින් ඔහු අමතයි. "ඔයා නියම පිරිමියෙක්... ඔයා කවුද කියල මට කියන්න..."
අබේට හිනා යයි. දරුවාගේ නළලට උණුහුම් තොත්තුවක් දුන් අබේ ඈට ආදරයෙන් කතා කරයි.
"මෝහිනී... මම අබේ... මං කැම්පස් ගිහින් උපාධියක් කරපු එකෙක්. එ මදිවට දේශපාලන කැරලිකාරයෙක් හැටියට හිරේ විලංගුවේ වැටිල... වධකාගාරවලත් හිටපු එකෙක්...·"
මෝහිනී බෝ සේ විස්‌මපත්ව දැස් අයා ඔහුගේ ඉස්‌මුදුනේ සිට රබර් සෙරෙප්පු ජෝඩුව තෙක් බලයි.
"උඹ ඇහුවනේ මං කවුද කියල... මගේ තාත්තා ආමිකාරයෙක්.... ගම ගාල්ලේ... තාත්තා වැල්වැටිතුරේ දී කොටින්ගෙන් මැරුම් කෑවා. මගේ අම්මා දෙමළ. වැල්ලවත්තෙ ගෑනියෙක්. අසූ තුනේ කළු ජූලියේදී මගෙ අම්මව මරල පුච්චලා තිබුණා..."
"අනේ දෙයියනේ..."
"ඉඳපංකො ඉතිරි ඩිංගත් කියනකං... මං හොඳ කට්‌ටක් කාපු එකෙක්. නොම්මර එකේ පරිප්පුවක් කාපු එකෙක්. මං කැම්පස් එකේ ඉන්න කාලේ අසූ අට අසූ නමයෙ භීෂණ කාලෙ වධකාගාරවලත් හිටියා. ඇටකටු කැඩෙන කං ගුටි කෑවා. අපා දුක් වින්දා. මාත් එක්‌ක හිටපු සගයො හුඟ දෙනෙක් මැරුම් කෑවා. ටයර් සෑයේ ගියා. අපි කට්‌ටියක් වධකාගාරෙන් පැනලා කැළෑ වැදිලා ලී ඉරුවා... හේන් කෙටුවා..."
මෝහිනී ඉමහත් ගෞරවයෙන් ද, ඉමහත් භක්‌තියෙන් ද ඔහුගේ කතාව අසා සිටී.
"මෝහිනී... ඔයිං මෙයිං ජීවිතේ ගෙවිල ගියා... හැබැයි උඹ එකක් මතක තියාගනිං... මේ අබේ එදා වගේම... මව්බිමට... මිනිස්‌සුන්ට ආදරෙයි. පණ වගේ ආදරෙයි... බාග වෙලාවට... මේ උඹ වඩාගෙන ආපු දරු පැටියත් අතීතේ දවසක ටයර් සෑයක ගියපු එකෙක් වෙන්ටන් බැරි නෑ... බෝම්බෙකින්... වෙඩි පාරකින් මැරිච්ච එකෙක් වෙන්ටත් බැරි නෑ..."
අබේගේ කතාව අසා සිටි මෝහිනී ඉකිබිඳිමින් හඬන්නට වූවාය. ඇගේ උණු කඳුළු කැට අබේගේ දෙපා මත වැටිණ. එ් කඳුළු ඊයම් බරු වගේ බරට බරේ අබේගේ ලේ නහර සීතල කරයි.
"මෝහිනී... ජොබ් එකක් නැතුව කට්‌ට කකා ඉන්දැද්දී සොහොන්පල්ලා වේකන්සිය දැක්‌කා. ඇප්ලයි කළා. මං තේරුණා...·"
අබේ මහ හයියෙන් සිනාසෙයි. දරු පැටියා පපුවට තුරුළු කරගෙනම සිනාසෙයි.
අබේගේ සැහැල්ලු හිනා හඬ අහසේ හැපෙයි. පොළොවේ හැපෙයි. සුළඟේ හැපෙයි. ගහකොළේ හැපෙයි. හැපි හැපී දෝංකාර නංවයි.
"අනේ ඔයා රටක් වටින රත්තරං මනුස්‌සයෙක්‌නෙ...·" මෝහිනී අබේගේ දෙපා මත දෑත තබමින් භක්‌තිමත්ව කියයි.
"මෝහිනී... උඹ මට කැමැති ද කියපං... අපි බඳිමු·"
පසුදා උදේ විවාහ රෙජිස්‌ටාර් කාර්යාලයකදී අබේ හා මෝහිනී විවාහ වූහ.
"කවුද සාක්‍ෂිකාරයෝ...?" රෙජිස්‌ට්‍රාර් තැන සිනාමුසුව අසයි.
"ඉරයි හඳයි·" අබේගේ බැචාලා රොත්තම එක හඬින් කීහ.
| ||||||
සමන් චන්දන කුමාරසිංහ |
සේපාලිකා බෝ මළුවේ පඩිය මත රැඳී සිටියාය. ඇගේ අතේ සේපාලිකා මල් වට්‌ටියක් තිබුණි. ඇය සේපාලිකා ඇහින්දේ ඇයට බුදුන් පුදන්නට ඇති වුවමනාව නිසා නොවේ. ආනන්ද හාමුදුරුවන්ට තෙරුවන් නමදින්නටය. ආනන්ද හිමි බෝපත් රටාවට බෝමළුව ඇමදුවේය. බිමට එබුණු ආනන්ද හාමුදුරුවන්ගේ දෑස ඉහළට එසවෙන්නේ බෝමළුව කෙළවරේදීය. ඉදලේ ඉරටු පෙළ වැලි මළුවේ ඇදෙනා වේගයටත් වඩා වැඩි වේගයකින් සේපාලිකාගේ ඇස් දෙක බෝපත් රටාව ලුහුබැඳ ගියේය. බෝමළුවේ අවසාන වැලි කැටයද ඉදලට ස්‌පර්ශ වීමෙන් පසුව අනඳ හාමුදුරුවන්ගේ දෙනෙත සේපාලිකාගේ දෙනෙත මත ගැටුණි. ඇය ආනන්ද හාමුදුරුවන් දෙස එක එල්ලේ බලා සිටියාය. "ඇයි? කඳුළු..." සේපාලිකාගේ කඳුළු පිරුණු ඇස් දෙක අනඳ හිමියන්ට කුහුලක් මතු කළේය. "තාත්තව අල්ලගෙන ගියා." "කසිප්පු පොළේදී වෙන්න ඇති?" "නෑ... බූරු පොළේ ඉඳලා... " "වරදක් කළොත් දඬුවම් විඳින්නම එපායෑ නේද?" "කසිප්පු බොන්නවත්... බූරුවා ගහන්නවත් තාත්තට සල්ලි නැහැ හාමුදුරුවනේ... තාත්තා මුදලාලිට ඔත්තු බලනවා. " "ඇයි? වැලි ගොඩදාන එක අත ඇරියෙ...." "සතියට දවස් දෙකයි වැලි ගොඩ දාන්න දෙන්නෙ. ඒත් මේ දවස්‌වල වැස්‌ස. තාත්තා කරන මොන වැරැද්දටත් දඬුවම් විඳින්න වෙන්නෙ අපි ඔක්‌කෝටම." සේපාලිකා තමන්ටම කියා ගත්තාය. "එන්න ජනේලෙ ළඟට. " ආනන්ද හාමුදුරුවෝ සරසවි පිවිසුම් පෙළ සමත් වී සරසවි යන්න බලා සිටියහ. සේපාලිකා උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්‍ෂාවෙන් පසු වූවාය. ගින්දරයි, පුළුනුයි එක ළඟ ඇති විට ඇවිලෙන බව මේ දෙදෙනා දකින නෙත් තැනින් තැන කතා විය. සේපාලිකාගේ තනි කරලට ගෙතූ කොණ්‌ඩය කලව දක්‌වා දික්‌විය. හමේ පැහැය ඇත්දල වර්ණයට සමීපයි. කෝපි මල් හිනාව සිහින් දිගැටි මුහුණට එළියක් මතු කෙරිණි. මේ සියල්ල පරයා ආනන්ද හිමියන්ගේ හිත ගැටුණේ ඇගේ දිවිය වෙලාගෙන තිබූ දරිද්‍රතාවයේ සෙවණැලි වෙතය. "ආ... මෙන්න" දෙයියනේ පිරිකර. අපේ අම්මා දැන ගත්තොත්... හිතේ පිරුණ භක්‌තිය ගලාගෙන යයි කම්මුල් දිගට. කිරිපිටි, තුවා, ඇතිරිලි, සබන්... සාංඝීකයි නේද? ගෙනියන්න. අම්මා අකැමැති වෙන්නෙ කොහොමද ආනන්ද හාමුදුරුවො දාන පාරමිතාව පුරනවට. සේපාලිකා සිහින් සිනහවක් පෑවාය. ඒ හිනාවට පන්සලේ ආවතේම කරනා මුනිදාස රැව්වේය. ඇය හන්දියේ තම්බි කඩයට පිරිකර විකිණුවාය. හාල්, පරිප්පු, තුනපහ රැගෙන ගෙදර ගියාය. දවල් බත ඇගේ නිවසේ ඉදුනි. "ටාං... ටාං... ටාං..." ඝන්ඨාරය මහ හඬින් නාද විය. අඛණ්‌ඩව ඇසුණු ඝණ්‌ඨා නද නායක හාමුදුරුවන්ව නින්දෙන් අවදි කළේය. "මුනිදාස... කවුද යෝධයෝ ඔය තරම් හයියෙන් ඝණ්‌ඨාරෙ ගහන්න කිව්වේ..." "ලොකු ඉස්‌කෝලෙ මහත්තයා." නායක හාමුදුරුවන්ට පරචිත්ත විජානන ඥණය නොතිබුණාට යමක් වහා තේරුම් ගැනීමට හැකි පළපුරුදු ඉවක් තිබුණි. "ඉතිං ගිහින් ගහපිය... අහළ ගං හතටම ඇහෙන්න. " මුනිදාස පොළොවට සවිවූවෙකු සේ නිසොල්මන් විය. "ඉතිං පල..." ඝණ්‌ඨාරෙ ලණුව කැඩුණා. "මට පුදුම ඒ ගැහුව ගැහිල්ලට ඝණ්‌ඨාර කුළුණ ඇඟට පෙරළුණේ නැති එකනේ..." නායක හාමුදුරුවෝ ඉස්‌තෝප්පුවට පැමිණ හාන්සි පුටුවට බර වූහ. සුපුරුදු සෙයාවෙන් සිටියද දැහැත් විටක් වත් වැළඳීමේ පිරියක් නොවුනි. මුඩු හිස දකුණතින් පිරිමැදෙද්දී උන්වහන්සේගේ දෑස් නිකමට මෙන් පියවිනි. ඒ අඳුරු දෑස් තුළ ආනන්ද හාමුදුරුවන් පිළිබඳ අතීත මතකයන් ගොනුවෙමින් තිබුණි. දහම් පාසල දියුණු කළ අයුරු, කුළඟන සමිතියට පුනර්ජීවය ගෙන දුන් කැපවීම, බෞද්ධ සමිතිය, අනෙන්‍යාධාර සමිතිය, තරුණ සංගමය මේ සියල්ලක්‌ම ක්‍රමවත් වූයේ ආනන්ද නිසාය. සේපාලිකාටත් මේ හැම තැනකදීම කැපී පෙනෙන තනතුරක් ලැබුණි. සේපාලිකා ආනන්දට මෙතරම් කුළුපග වූයේ ඇයගේ අධ්‍යාපන කටයුතුවලට උදව් ලැබුණු නිසා නේදැයි නාහිමියන්ට සිතුණි. ආනන්දට පැපොල සෑදී සිටි දිනවල කැඳ වතුර, ගිලන්පස රැගෙන කාමරයේ ජනේලය ළඟ සිටි සේපාලිකාව නායක හාමුදුරුවන්ට දැකගත හැකිවිය. ධර්ම ශාලාවේදී වුවද, දහම් පාසලේ දී වුවද මේ දෙදෙනා අතර වැඩිපුර කතාබහ කෙරුණේ වීතරාගී දේවල් මිස සරාගී ප්‍රාර්ථනාවන් නොවේ. පන්සලේ උත්සවයක් පැවති දිනයක දාන ශාලාවේ දී සේපාලිකාට ආනන්ද කෙක් කෑල්ලක් දුන් අයුරු නායක හාමුදුරුවන්ට මතක් විය. මාගමුන් කෙසේ වුවද ආනන්ද නෙළුම් පතක රැඳි දිය බුබුලක් සේ නොඇලෙනා බව උන්වහන්සේට සිතුණි. සේපාලිකා දුන් දේවල් අර ගත්තේත්, සේපාලිකාට මොනයම් දේවල් ආනන්ද දුන්නේත් අතින් මිස සිතින් නොවන බව නායක හාමුදුරුවන්ට විශ්වාසය. තමන්ට ලේ අතීසාරය සෑදී ඔත්පලව සිටි දිනවල ආනන්ද දිවා රෑ නායක හාමුදුරුවන් අසලින් සෙලවුණේවත් නැති බව උන්වහන්සේට සිහිපත් විය. තරුණ දෑතක් තමාගේ කැත කුණු සෝදා පිරිසිදු කළ ගුණය දිවල් ලාටු මත කලවම් වූ සායම් පොදක් සේ සිය හදවතේ ඇලී තිබුණි. නායක හාමුදුරුවනේ පෙර පාසලේ පාලිකා තනතුර සේපාලිකාට බාර දුන්නොත් හොඳයි නේද? නැති බැරිකමට අත්වැලක් වෙන්න. "ආනන්ද ඒක තීරණය කරන්න ඕනෙ දායක සභාව. සේපාලිකාගෙ උගත්කම, හැදියාව, නැතිබැරිකම අපි වගේම දායක සභාවත් දකීවිනේ..." හාන්සි පුටුවේ අත්වාරුවට බරදී ආනන්ද හාමුදුරුවෝ නැගී සිටියහ. උන්වහන්ස්‌ට දෑස් අදහාගත නොහැකි වූයේ පන්සලේ මිදුල දෙස බැලීමෙනි. මේ තරම් පිරිසක් කඨිනානිශංස ධර්ම දේශනාව අහන්නවත් හිටියෙ නැහැනේ... ලොකු ඉස්‌කෝලෙ මහත්තයා නායක හාමුදුරුවන් අසලම සිටියේය. ඔහු පන්සලේ ප්‍රධාන දායකයා ය. ඔහුගේ සීයා පෙරකදෝරුවෙකි. අහල ගම් හතේම මොවුන්ට ඉඩකඩම් අයිතිව තිබුණි. පන්සල පිහිටා තිබුණේද ලොකු ඉස්‌කෝලෙ මහතාගේ සීයට අයිති ඉඩමකය. ගමේ පන්සලේ සේවය කර විදුහල්පති ධුරයෙන් විශ්‍රාම ගිය පසු ඔහුගේ වටිනාකම බුද්ධ ජයන්ති රුපියලක් බවට පත්වුණා යැයි ලොකු ඉස්‌කෝලෙ මහත්තයාට සිතුණි. මේ හේතුව මත වෙනදාට වඩා ගමේ සමිති සමාගම්වලදී පන්සලේ කුදු මහත් කටයුතුවලදී තමා මුදුනා විය යුතු යැයි ඔහුගේ පිළිගැනීම විය. ඊට වේදිකාව පන්සල් බිම මතම ඉදිකර ගැනීමට හෙතෙම පිඹුරු පත් සකසමින් සිටියේය. වංශය කබල්ගෑම නිසා ගෙදරටම නාකිවූ ලොකු ඉස්‌කෝලේ මහත්තයාගේ දූවරු දෙදෙනාද, කිසි දිනක අයවැයක් ඉදිරිපත් නොකරන පන්සලේ භාණ්‌ඩාගාරික තැනද, පන්සලේ ටියුෂන් පංති කරන ගණිත ගුරුවරයාද අවලාද පෙරහැරේ පෙරමුණ ගෙන සිටිනා බව නායක හාමුදුරුවන්ට දැකගත හැකි විය. පුදුමය නම් ලෙඩට ගිලන්පස වීදුරුවක්, පාත්තරයට බත් සරලුවක් පවා පිළිනොගැන්වූ දෑත්වලින් දබරැඟිලි එසවෙමින් නඟන අපවාද නායක හාමුදුරුවන්ට සරදම් පානා රඟය. විහාර ගෙය, දාගැබ් මළුව, බෝමළුව අවට අන්ධකාරය පැහැරගෙන තිබුණි. ආනන්ද පන්සලේ සිටියා නම් කළුවර වැටෙද්දීම ත්‍රිවිධ චෛත්‍යයන් ආලෝක වන බව උන්වහන්සේ දැන සිටියහ. තමන් වහන්ස්‌ලාට පණ වුවත් දෙන්නට ඉදිරිපත් වෙන බව අඟවමින් කතාබහ කරන උදවිය කවුරුවත්ම නැද්දෝයි නැවතත් නායක හාමුදුරුවන් දෑස් සිවුරු පොටෙන් පිසදා බලන්නට විය. "ආ... අපේ ගුණවතී උපාසකම්මා ඉන්නවනේ..." උන්වහන්සේ සිතින් මිමිණීය. නමුත් හතර පෝයටම සිල් ගන්නා හිත රිදෙන වචනයකුදු කිසිවිටක කටක් ඇර නොකියනා ගුණවතී උපාසක අම්මා ද වෙනතක් බලාගෙනය. කොරහක් තරම් වන මුහුණ මත දෙඅත් ඔබාගත් ඇය නායක හාමුදුරුවන් ඉදිරියේ සිටියේ මහා පොළොවට රවාගෙනය. "නායක හාමුදුරුවො අදම තීරණයක් ගන්න ඕනේ." ලොකු ඉස්‌කෝලෙ මහත්තයා පළමු වෙඩි මුරය පත්තු කළේය. නායක හාමුදුරුවෝ හාන්සි පුටුව මත සෘජුව වැඩ සිටියහ. විත්තිය නොමැති පැමිණිල්ල පමණක් ඇති නඩවුකට හාන්සි පුටුව විනිශ්චය ආසනය විය. "අපි කිව්වනෙ ඔබ වහන්සේට ගමේ ළමයෙක් මහණ කරමු කියලා... කෝ ඉතිං ඇහුව එකක් යැ..." "නාන්නාඳුනන පවුලකින් හද්දා පිටිසර ගමකින්... අන්තිමට මොකද වුණේ... අපි මහණ කෙරෙව්වා. පෝෂණය කෙරෙව්වා. ත්‍රිපිටකය කටපාඩම් කෙරෙව්වා. ඒ මදිවට උපසම්පදාවත් කරව ගත්තා. අහල ගම් හතට දැනෙන්න පෙරහැරවල් ගියා. විශ්වවිද්‍යාලෙටත් ඇරිය. පැය විසිහතර පුරාම සිව්පසයෙන් ඇප උපස්‌ථාන කළා." ලොකු ඉස්‌කෝලෙ මහත්තයා නාලාගිරි ඇතාගේ වෙස්‌ගෙන තිබුණි. නායක හාමුදුරුවන්ගේ කෝටියක් සංවර ශීලය ජරපත් පෙරහන්කඩක් තරමටවත් මායිම් නොකළ ලොකු ඉස්‌කෝලෙ මහත්තයා නඩේ ගුරා චරිතටය පණ පෙවීමට අර ඇන්ඳේය. "වැලිවිට සංඝරාජ උත්තමයගෙ පරම්පරාවෙන් පැවත එන පන්සලක් මේක. ඕවාද ප්‍රාතිමෝක්‍ෂය ගැන ඔබ වහන්සේ නොදන්නවා නෙමෙයිනෙ හාමුදුරුවනේ..." ඌරගෙ මාළු ඌරගෙ ඇඟේම තියනා කපන තැනට භාණ්‌ඩාගාරික උන්නැහේගේ කටත් ඇරුණි. "මං නං හිතන්නෙ පාරාජිකා වෙලා හුඟක් කල්..." ගුණවතී උපාසිකාවද එෆ් එම්. මීටරයක් සේ මොන මොනවදෝ දොඩවනා බවක් හැඟුණි. දෑස් ලොකු කරගත් නායක හාමුදුරුවෝ ගුණවතී දෙස බලා සිටියේ අරුමය මතු කරමිනි. "ජනේලෙ ළඟයි, බෝමළුවෙයි, ධර්ම ශාලාවෙයි, පාර අයිනෙයි, අරකෙනෙයි, මේ කොනෙයි, අතනයි මෙතනයි කතාව... කතාව. මොනවද ඔය තරම් කතා කරන්න දේවල් තියෙන්නේ..." "ඔබ වහන්සේ දැන්ම තීරණයක් ගන්න. පන්සලද, ගමද, ආනන්ද හාමුදුරුවොද? අපිද?" ටියුෂන් ගුරුවරයාගේ වාග් ප්‍රහාරයට ලොකු ඉස්‌කෝලෙ මහතගේ දුවලා දෙපළද වේගවත් හුස්‌මක් පිම්බෝය. "ඔබ වහන්සෙ පන්සලේ නැති දවස්‌වලට කාමරේ ඇතුළටත් අරගෙන. බොරු නං මෙන්න සාක්‌කි..." එවර ගුණවතී අත දිගු කළේ ආවාසගෙයි කුළුනකට මුවාවී සිටි මුණිදාස දෙසටය. "එහෙමයි හාමුදුරුවනේ..." නායක හාමුදුරුවන් මුණිදාස දෙස තියුණු බැල්මක් හෙළුවේය. මුණිදාසට අමතක වූවට ඔහුගේ සර්වාංගය පුරා පැතිරුණු ඕජස් ගැලූ කුෂ්ඨ රෝගයට කුණුගඳ ගසද්දීත් මාස ගණනාක්‌ම ඇප උපස්‌ථාන කළේ ආනන්ද බව එම බැල්මේ සටහන් වී තිබුණි. "ඔබ වහන්සේ දන්නවද ගෝලයා අද ගියේ කොහෙද කියලා..." "ගිය තැන කෙසේ වෙතත් පන්සලේ නැති බව නම් මං දන්නවා. අර පේන්නෙ නැද්ද බෝමළුව, විහාරය, දාගැබ අන්ධකාරවෙලා තියෙන හැඩ..." "පන්සල අඳුරට වැටෙන්නෙ නැතුවද බේබද්දන්ට සූදු අන්තුවන්ට ඇප දෙන්න පොලිසි ගානෙ රස්‌තියාදු වෙනකොට..." ලොකු ඉස්කෝලෙ මහත්තයාගේ ආලවක චරිතයට ලොකු හාමුදුරුවන් මුණිවත රැකීය. "හැබැයි ලොකු හාමුදුරුවනේ අපි මේ ගැන දැනුම් දෙනවා සංඝාධිකරණයට..." "ඔව්... ඔව්... මේ බුද්ධ ශාසනය තව අවුරුදු පන්දහසක් කල්වත් රැකෙන්න ඕනේ හාමුදුරුවනේ...." භාණ්‌ඩාගාරික තැන ගුගුළේය. ගුණවතී හූ මිටි තිබ්බාය. පන්සල් මිදුලේ කසුකුසුව තව තවත් වැඩි වන්නට විය. මේ කන්දොස් කිරියාව නිසා නායක හාමුදුරුවන්ගේ කන්වලට අගුල් වැටුණි. පන්සල් මිදුලේ ත්‍රීවිලරයක් නතර විය. ඉන් ආනන්ද හිමි එළියට පය තැබීය. දොස් පරොස් හඬ නැවතින. කසු කුසුව වේගවත් විය. කාමරයට ගිය ආනන්ද හාමුදුරුවන් දොර වසනා හඬ ඇසුණි. පැමිණ සිටි කොලු කෙල්ලන්ගේ සමච්ච් සිනා හඬ කාමරයේ දොර පියන්පත් මත හැපුණි. "හෙට උදේ වෙනකොට කැළෑ පත්තරත් ගහල තියේවි" නායක හාමුදුරුවන් පූර්ව නිගමනයකට එළඹියේය. උන්වහන්සේ හිතේ පිරි බර සැහැල්ලු කර ගැනීමේ අටියෙන් දෝ හාන්සි පුටුවේ දිගාවුණි. ආනන්ද හාමුදුරුවන් සිය කුටියේ පොත් මේසය මතවූ සමාධි බුදු රුව දෙස බලා වුණි. කසාවත කරට වැටුණු දා සිහියට නැගුණි. අම්මා තාත්තා නංගී ඉකිගසද්දී තමා වූ මහණිය පොරොන්දුව මතකයෙන් මතුවුණි. "සබ්බ දුක්‌ඛ නිස්‌සරණ නිබ්බාන සච්ච කරණත්තාය..." නායක හාමුදුරුවන්ගෙන් සසර කෙටිකර ගන්නට පැවිද්ද අයැද සිටි අයුරු ආනන්ද හාමුදුරුවන්ට සිහියට නැගුණි. අස්‌ථානයේ නැගෙන අභූත චෝදනා හමුවේ මේ ටික කාලෙට එවැනි උතුම් අධිෂ්ඨානයක් මරා දමන්නේ කෙළෙසකැයි උන්වහන්සේ බුදු රුවින් ප්‍රශ්න කළහ. "හිසේ කෙස් ගානට ගෝලයො මහණ කළත් ඉහේ අං ගානට වත් ශාසනයේ රැඳෙන කාලයක් නෙමෙයි මේක..." නායක හාමුදුරුවන් තමා පැවිදි කරනා දවසේ කළ දේශනාව යළි යළිත් ආනන්ද හිමියන්ගේ දෙසවනේ දෝංකාර නැංවීය. අහල ගම් හතේම දානෙට, බණට, පිරිතට, පාංශකූලයට අඬගැහු වෙලාවට දිවා රෑ නොබලා පේවී සිටි අයුරු සිහිවෙද්දී සමස්‌ත සමාජය කෙරෙහිම මහත් වූ කලකිරීමක් ආනන්ද හාමුදුරුවන් තුළ ඉපදුණි. "සාධු දැන් ඉතිං ගෙදර එන්න... මහ ගෙදර වතුපිටි පාළුවට යනවා..." තමා විශ්වවිද්‍යාලයට තේරුණ දවසේ සිය එකම නැඟණිය කළ ඉල්ලීම හිමියන්ගේ යටි සිතින් මතුවිය." "අනේ බැහැ නංගියේ... මගේ මහ ගෙදර තමයි මේ සම්බුද්ධ ශාසනය..." එක අතකට ගම්වල නගරවල ඉඳගෙන පන්සල් රකින පැවිදි ජීවිතය පහන් කණුවක් වගේ... නේදෝයි ආනන්ද හාමුදුරුවන් තමාටම කියා ගත්තේය. "ආනන්ද දොර අරින්න..." "මං දන්නව ආනන්ද කෝටියක් සංවර ශීලය ඉඳුල් කර නොගන්න බව..." "ඒ වුණාට ගමේ මිනිස්‌සු ඒ බව පිළිගන්නෙ නැහැනෙ ලොකු හාමුදුරුවනේ..." මන්දස්‌මිතිය රැඳි ආනන්ද හිමියන්ගේ දෙනෙතට සිහින් කඳුළක් නැඟුණි. අනඳහිමියන් ඇස කඳුල සිවුරු පොටට ගනු ලැබීය. "ආනන්ද ඔය අරහත් ධජය කරට දැම්මෙ ලෝකාපවාදයේ කඳුළු පිහදාන්න නොවෙයි..." නායක හාමුදුරුවන් මේ මතක් කර දෙන්නේ සෘජුපටිපන්න ගුණය බව ආනන්ද හිමියන්ට සිහිපත් විය. "සතර පේරුවෙ දායක දායිකාවො බත් ඇටයක් ඇටයක් ගානෙ කුල කියන්න ඇති නේද නායක හාමුදුරුවනේ...?" "සතර පේරුවෙ කටකැඩිච්ච කතාවලින් සතර වරිගයට අසාධාරණයක් වෙන්න ඉඩ තියන්න එපා ආනන්ද..." "මං යනව නායක හාමුදුරුවනේ..." "කොහාටද?" "කයි කතන්දර නැති තැනකට..." ආනන්ද හාමුදුරුවන් ලොකු හාමුදුරුවන්ගේ දෙපා මුල වැඳ වැටුණි. සිය ඇසින් ගැලූ කඳුළු නායක හිමියන්ගේ දෙපා මත තැවරුණි. ඉන් සංවේගයට පත් නාහිමියන්ගේ දෙනෙතටද කඳුළු පිරුණි. එනමුදු සිය ගෝලයාගේ හිතට දිරිය දෙනු වස් එම කඳුළ දෑස් මතම දිය කර දැමුණි. "ආනන්ද අපි ඉන්නෙ සුනාපරන්ත ජනපදයෙ කියල හිතමු. එතකෙට ඔය බිඳුණු හිත හදාගන්න පහසු වෙයි." පසුදාට පහන් විය. බෝමළුව ඇමදීම කෙසේ වෙතත් ලොකු හාමුදුරුවන්ට එහි තැන තැන වැටි විසිරුනු බෝපත් ටික ඉදලෙන් එකතු කරන්නට සිදුවිය. සේපාලිකාගේ මව නොඉවසිල්ලෙන් බෝමළුව දෙසට එන බවක් පෙනුණි. මුනිදාස ඒ ගමන දෙස බලා සිටියේ අයාගත් මුවිනි. "ඇයි? උපාසක අම්මෙ අමුතු කලබලයක්....?" "හිත හොඳටම කලබලයි හාමුදුරුවනේ..." "හොඳයි. හොඳයි. මොකක්‌ද වුවමනාව..." "පොඩි හාමුදුරුවො අපිට පෑව කරුණාවන්තකම දරාගන්න බැරුව ඇස්‌වලින් කඩා හැලෙනවා හාමුදුරුවනේ..." ඉන් එහාට ලොකු හාමුදුරුවන් කිසිවක් ප්‍රශ්න කිරීමට ගියේ නැත. බිමට අයාගත් මුව බෝමළුව ඇමදීමට යොමු කළේය. ලොකු හාමුදුරුවන් කෙරෙන් නික්‌මුණු නිහඬ බව නිසාම සේපාලිකාගේ මව ආපසු යන්නට හැරුණාය. මුනිදාස ගිලන්පස කෝප්පයක් ගෙන සේපාලිකාගේ මව අසලින්ම මල් ආසනය වෙත ඇදුණේය. "පොඩි හාමුදුරුවො.. ඊයේ රෑම ගිහිල්ලා...", "ඇඳගෙන හිටිය සිවුරු පිටින්ම...", "කුඩෙයි, සෙරෙප්පු දෙකයි, පාත්තරෙයි හැර අනිත් ඔක්‌කොම දේවල් දාල ගිහිල්ලා...." මුණිදාසගේ වචන ටික සේපාලිකාගේ මව තුළ මතුකළ කුහුළ ඉකිබිඳුමකට පෙරළුනි. "කෙල්ලත් හරියට දුක්‌වුණා මුනිදාස අයියෙ වෙචච් වැරැද්දට... කෙල්ල විශ්වවිද්‍යාලෙට තේරුණොත් පොඩි හාමුදුරුවන්ට පිං සිද්ධ වෙන්න..." "මේ උපාසක අම්මේ... තවත් ඕනේ නැහැ.... නිවුණු ගින්දර අවුලවන්න. හා... හා... ඉක්‌මණට පන්සලෙන් පිට වුණා නං.... " "පොඩි උන්නාන්සෙ විශ්වවිද්‍යාල ගමන නතර කෙරුවා.... උන්නාන්සෙ අද අලුයම වැඩිය තපෝවනේ ආරණ්‍ය සේනාසනයට." "දෙයි හාමුදුරුවනේ... කවදහරි දවසක මේ ගම රට බබළවන චිර ප්‍රසිද්ධ ධර්ම දේශකයන් වහන්සේ නමක් වෙන්න තිබුණ නේද අපේ පොඩි හාමුදුරුවන්ටත්... ඔය කැළෑවල රිංගන්නෙ නැතුව..." නායක හාමුදුරුවන් දෙසට දෑත් විදහාලමින් විස්‌සෝපයට පත් මුණිදාස හුස්‌මක් කටක් නොගෙනම පැවසීය. "මේ... මුණිදාස. තමන්ගෙ බැමි ලිහාගන්න බැරි මනුස්‌සය කොහොමද මුණිදාස, අනුන්ගෙ බැමි ලිහලා දෙන්න ධර්ම දේශනා කරන්නෙ... අනේ· මේ... උඹයි මමයි දෙසන වැදි බණ." එසේ පැවසූ නායක හාමුදුරුවෝ බෝමළුවේ අවසන් බෝකොළ ටික ද කසළ ගොඩටම එකතු කළහ. |
සුදු පුළුන් කැටි සතර අත පාවෙන සැටි මට පෙනේ. කිසිදු හෙලවීමක්, ගැස්‌සීමක් නැතිව ගුවන් යානය පුළුන් වලා කපාගෙන යන බව කුඩා ජනේලය තුළින් සිතාගත හැකිය. සුදු පුළුන් වන් වලාකුළු මැද වර්ණවත් දේදුන්නක් ද යාන්තමින් පායා ඇත. ගුවන් සේවිකාව වරින් වර මද සිනා ඇතිව එහා මෙහා යන සැටිත් මා අසල සිටින මුස්‌ලිම් ජාතික කාන්තාවක් යැයි සිතිය හැකි මැදිවියේ කාන්තාව ඇතුළු මගීන් බොහෝ දෙනකු මද සීතල මැද නින්දට වැටී ඇති සැටිත් මට පෙනේ. ඇත්තටම මා මේ යන ගමනෙහි අරුත කුමක්‌ද?
මා ඉදිරියේ ඇති කුඩා මේසය මත ඇති රතු වයින් වීදුරුව බීමට පවා උනන්දුවක් දැන් මට නැත. පැහැදිලි රතු පාට වයින් තුළ මගේ කළකිරීම සැඟවිය හැකි නොවේ. කෙසේ වුවත් ලන්ඩනයේ සිටින මගේ බිරිඳ හා දරු දෙදෙනා වෙත මා ළඟා වූ පසු ඒ සියල්ල අමතක කිරීමට හැකිවේ යැයි මට සිතේ. රටට ඇති ආදරය නිසාම තනිවම ශ්‍රී ලංකාවේ සිටි මට දැන් හිත හදාගෙන යා හැකිය. අවුරුදු හතරක් කල් තිබියදී විශ්‍රාම ගැනීමේ ලියවිලි භාරදීමට හැකි වීම මහත් ශෝකයක් ද සැනසිල්ලක් ද ඇති කරමින් හද රිදුම් දෙයි.
මා මාර්ග නීති හා ප්‍රවාහන කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‌ෂ ජනරාල් ධුරයට පත් කරන විට මගේ පරිපාලන සේවාවේ ශේ්‍රණියට වඩා පහළින් සිටි අය එබඳු තනතුරු රැසක් හොබවමින් සිටීම මට කිසිදු ගැටලුවක් හෝ පසුතැවීමක් වූයේ නැති බව මට සිහි කළ හැකිය. කවුරුන් හෝ පසුපස ගොස් තනතුරු ලබා ගැනීමට වඩා ලැබූ තනතුරු හොඳින් හා අවංකව කිරීම මට මහත් ප්‍රීතියක් හා සහනයක් වූ බැවිනි.
මා වැඩ භාරගත් පළමු දිනයේම පරිසරය මට නොගැලපෙන බවක් පෙනුණද, ඒ බව නොසිතාම සතුටින් වැඩ ඇරඹූ බව මට මතකය. එදින පැමිණ සිටි ලොකු කුඩා සියලුම දෙනා රැස්‌වීම් ශාලාවට කැඳවා ආයතනය ගැන පිටස්‌තර අයගේ ඇති අප්‍රසන්න අදහස් නැති කරගත හැකි අන්දම මම පහදා දුනිමි.
"මා මේ තනතුරේ වැඩ භාරගන්නේ මෙහි දැනට ඇති වටපිටාව ගැන හොඳ අවබෝධයක් ඇතිව. මේ අය හැම දෙනාම වැරදි කරනවා කියලා මා කියන්නේ නෑ. ඒත් ටික දවසකින් තීරණය කරලා වෙනස්‌කම් කරන්න මට සිදු වේවි. ඒක පරිපාලනය අලුත් කිරීමේ මාර්ගයක් විදියට. කොහොම වුණත් ඕනෑම කෙනෙකුගේ ප්‍රශ්නයක්, ගැටලුවක් අහන්න මං සූදානම් බව කියන අතරම මෙතන එන අයට වඩාත් ඉක්‌මණින් ප්‍රශ්න නැතිව තමාගේ වැඩ කර ගැනීමටත්, ආයතනයට ගෞරවනීය නමක් ලබා ගැනීමටත්, මට ඔබ හැමගේ සම්පූර්ණ සහයෝගයද මං බලාපොරොත්තු වෙනවා."
සහයෝගය.... බලාපොරොත්තුව....ගෞරවය.... සතියක් ගෙවෙද්දී බොහෝ මේසවල, කවුන්ටරවල හිටි සේවක සේවිකාවෝ ක්‍රියා කරන අන්දම අපූරුවට මට පෙනිණ. ඉඳහිට කාර්යාලය පුරා ඇවිදින්න යද්දී බාගෙට ඇරුණු ලාච්චු ටක ටක හඬින් වැසෙනවාද ඇසිණ. සමහර අයගේ කාර්යාලයීය බෑග් එක බාගෙට කට ඇරලා මේස ළඟ තිබුණේ මේකට කීයක් හරි දාපං කියලා කියනවා වගේ.
ඉහළින් ඉන්න නිලධාරීන් කීප වරක් රැස් කර කළ යුතු වෙනස්‌කම් පරිස්‌සමින් කරන්න උපදෙස් දෙනු ලැබුවත් සාර්ථක නොවුණු බව සිද්ධි කීපයකින්ම මට පැහැදිලි විය.
"මල්ලී" දිනක් පාලි අක්‌කා මගේ කාමරය අසලටවිත් කතා කරන විට මට ඇති වුණේ පුදුමයකි.
"මොකද පාලි අක්‌කා අද මේ පැත්තෙ."
"මං කීප දවසක්‌ම ආව මීට කලින්, පොඩි වැඩකට පුතා කාර් එකක් ගත්තනේ - ඒකෙ වැඩ ටික කරගන්න."
"ඇයි ඉතින් මාව හම්බ වුණේ නැත්තේ."
" නෑ මල්ලී, දවස් දෙකක් මල්ලී අමාත්‍යාංශයේ මීටිංස්‌වලට ගිහින්. එක දවසක් මල්ලී මෙතන තව ඔෆිසර්ස්‌ලා දෙන්නෙක් එක්‌ක ලොකු වැඩක්. මමත් ඉස්‌කෝලෙ රාජකාරි කරලා තියෙනවනේ. මං බාධා නොකර මගේ වැඩේ කර ගත්තා. ඒකට කමක් නෑ මල්ලී." පාලි අක්‌කා නොනවත්වා කියාගෙන ගියාය. විශ්‍රාමලත් ගුරුවරියක වූ ඇය මගේ පුංචි අම්මාගෙ දුවය. මගේම වැඩිමහල් සහෝදරියක් වැනි වූ ඇයට උදව්වක් කිරීමට නොහැකිවීම මගේ පසුතැවිල්ලට හේතු විය.
"අක්‌ක වැඩේ කරගත්තද" මම හෙමින් ඇසුවේ තත්ත්වය දන්නා නිසා ලඡ්ජාව සඟවා ගෙනය.
"වැඩේ නම් කර ගත්තා. ඒත් මට මල්ලීට යමක් කියන්න තියෙනවා" ඇය මගේ මේසය මත තිබූ වීදුරු බෝලයක් ගෙන හෙමිහිට රවුමට කරකවමින් හඬ නොනැඟෙන ලෙස කීවාය. ඇය මේසය අසලටම පුටුව ළං කර ගත්තාය. කාර්යාලය පුරා එහෙ මෙහෙ ඇවිදින බොහෝ අය තමාගේ කාර්යයන් ඉටු වන තුරු නොඉවසිල්ලේ සිටින බව මට තිරපටින් නොවැසී ඇති මගේ කාමරයේ වීදුරු ජනේලයෙන් පෙනේ.
"මොකද අක්‌කේ." මට ඇති වූයේ කුතුහලයකි.
"නෑ මං කියන්නමයි හිටියේ මල්ලී, රජයේ සේවයේ හිටි කෙනෙක් විදියට මේ වැරදි බල බලා නිහඬව ඉඳීමත් ඒවාට අනුබල දීමක් විදියටයි මං දකින්නේ. මං කීප දවසක්‌ම ආවා. එක එක ඕනෑ කං කියනවා. අරක ගේන්න. මේක ගේන්න. කිය කියා. කවදාවත් මං කිව්වේ නෑ මල්ලී ගැන. තුන්වන දවසේ අර එහා පැත්තේ ඉන්න ටිකක් මැදිවයසේ එක්‌කෙනා පුතාගේ අත්සනේ වැරැද්දක් කියන්න ගත්තා. මං බෑග් එකේ වෙනම දාගෙනම ආව රුපියල් පන්සීයෙ නෝට්‌ටුවක්. මං ඒක අරගෙන මේස උඩ එයා ඉස්‌සරහා තියලා "ආ දැන්වත් මේක කරලා දෙන්න කිව්වා" මිනිහා ටිකක් ගැස්‌සුනා. මගේ මූණ දිහා ලැඡ්ජාවෙන් බැලුවා. මිනිහ හිතුවේ නෑ මං වගේ ගෑනු කෙනෙක් ඒක කරාවි කියලා. එදාම වැඩේ කරලා දුන්නා."
මට ඇයගේ මුහුණ බැලීමට බැරි තරම් ලඡ්ජාවක් දැනුණි. මේ මගේ කාර්යාලයද? මගේ ඔලුවට අත හෝදමින් මාව ගොනාට අන්දවමින් සිටින මේ කාලකණ්‌ණි හැත්තට විලි ලැඡ්ජාවක් නැද්ද? විදුලි පංකාව කැරකැවී මගේ හිස මත කඩා වැටෙතැයි මට මහත් බියක් සැනෙන් ඇතිවිණ.
දින දෙක තුනකට පසු මගේ විශ්වවිද්‍යාල මිතුරෙකු වූ අද දක්‌වාම මිතුරුදම් ඇති කරූ මගේ කාමරයට එනතුරුම මම නුදුටුවෙමි. "විඡේ මං ආවේ මගේ වයිෆ්ගෙ නමට ගත් කාර් එකේ පොඩි ලියවිලිවල වැඩක් කරගන්න." ඔහු මගේ මේසය ඉදිරිපිට තිබූ පුටුව ඇද එහි අසුන් ගනිමින් කීවේය.
"කෝ දෙන්න මට ඇප්ලිකේෂන් එක. මං නෝට් එකක් ගහලා දෙන්නම්."
"නෑ විඡේ මං කලින් දාක ආවා. අර රෙජිස්‌ටර් කරන කවුන්ටරේ ළඟ විනාඩි 45 ක් විතර හිටියා. එදා ඔයා හිටියෙ නෑ. කමක් නෑ කියලා මාත් හිටියා. හරියටම 12.29 ට එතන හිටපු ගර්ල් කවුන්ටර් වැහුවා. වෙලාව ඉවරයි කියලා. ඊළඟට හිටියෙ මම. තව හිටියෙ මාත් එක්‌ක තුන් දෙනයි. ගණන්වත් ගත්තේ නෑ. කවුන්ටරේ වහලා පුටුවෙන් නැගිට්‌ටා. මට මාර තරහයි.
මම කිව්වා 'තව විනාඩියක් තියෙනවනේ. පැයකට කිට්‌ටු වෙන්න අපි මේ ඉන්නෙ. දැන් ඉන්නෙ තව තුන්දෙනයි. ඒ විනාඩියෙ අපි තුන්දෙනාගෙ නම් එන්ටර් කරනවා' කියලා. මං කෑගැහැව්වා. ඒ ගමන බය වෙලා පොත අරගෙන ලිව්වා. අහිංසක මිනිස්‌සුන්ට මුං කොහොම කරාවිද විඡේ." කරූ මං දෙස බලාගෙන කීවේය.
"රජයේ නිලධාරීන් හොරු. ආණ්‌ඩුවෙ ඔෆිස්‌වල වැඩක් කරන්නෙ නෑ. හරි ප්‍රමාදයි කියලා හැමෝම කියන්නෙ පුරුද්දට වගේම, යම් යම් අත්දැකීම් නිසා. ඒ මුං වගේ ටික දෙනෙක් හින්දා. මෙතන ගොඩගන්න හැටි මං දන්නවා. මට යන්න වේවි. ඒත් කමක් නෑ මං කරනවා. රජයේ සේවය ගැන මිනිස්‌සු තුච්ඡ විදියට කතා කරන්නෙ මුං වගේ හොරු ටිකක් නිසා. හොඳ රජයේ සේවකයන්ව සාමාන්‍ය ජනතාවට හමුවෙනවා අඩුයි. ඒ තැන් මිනිස්‌සුන්ගෙන් ඈත තැන්. මේ වගේ තැන්වලටයි දක්‌ෂ අවංක මිනිස්‌සු දාන්න ඕනෑ. මට ඔය ටික කියපු එක හොඳයි. ළඟදීම මං තීරණයක් ගන්නවා."
කරූ තමාට අවශ්‍ය ලියවිලි සකස් කරගෙන යන්න ගියේය. අප වැටුප් ගන්නේ මේ රටේ මිනිසුන්ගේ බදු මුදලින් බව සිතන්නේ කීයෙන් කී දෙනාද? මානව ප්‍රේමය හදවතේ ඇති කිසිවෙකුට හෝ ඒ වගකීම්වලින් මිදිය හැකිද? දේශපාලන බලවතුන්ගේ පිහිටෙන් ඉහළ තැන්වල ඇති තනතුරුවලට පත්ව යන බොහෝ දෙනෙක් අමතර ආදායම් ද උපයමින් තමාගේම ගෞරවනීය සේවයේ වසුරු තවරති. එන්න එන්නම දූෂිත වන මේ තත්ත්වය දේශපාලන මුක්‌කු නිසා කවදාවත් හදන්න බැරි වේවිද? සහතික පත්‍ර සුදුසුකමුයි. පන්දමයි තිබුණොත් ඕනෑම නිවටයෙකුට ඕනෑම තනතුරක් ගන්න පුළුවන් රටක්‌නෙ මේක. මේ තත්ත්වය අඩු තරමින් මෙතැනවත් නිවැරදි කරනු සඳහා මා ඉක්‌මන් තීරණයක් ගත යුතුය. මට මගේ පියාගේ රාජකාරි කාලය සිහිපත් වේ. අවංක සේවය නිසා ඔහු මොන තරම් බාධක ජීවිතය පුරා උසුලාගෙන ගියේද? මගේ ඉරණමද එසේ විය හැකිය. කමක් නැත. මම තීරණය ගතිමි.
පසු දින අවුරුදු ගණන් එක තැන පල්වුණු ලිපිකරුවන් පහළොවක් පමණ දෙපාර්තමේන්තුව ඇතුළතම වෙනත් තැන්වලට අනුයුක්‌ත කර, වහාම විෂයයන් වෙනස් කළෙමි. ප්‍රධාන ලිපිකරු වහාම ක්‍රියාත්මක වන පරිදි පරිපාලන අමාත්‍යාංශයට ගන්නා ලෙස ලි තව දැන්වීමි. මා කලින් සිටි දෙපාර්තමේන්තුවේ දක්‌ෂ අවංක ජ්‍යෙෂ්ඨ ලිපිකරුවෙකුට කතා කර බලෙන් මෙන් ඔහුව මෙහි ප්‍රධාන ලිපිකරු ලෙස දැමීමට කැමැත්ත ලබා ගත්තෙමි. මගේ ඔළුවේ බර භාගයක් බිම තැබුවාක් මෙන් විය.
දෙපාර්තමේන්තුව ඇතුළත කසු කුසු නැඟෙන බව ආරංචි විය. එහෙත් දෙසතියකට පමණ පසු මට දකින්නට ලැබුණේ අලුත් වෙනසකි. මේසවලට හා පරිසරයට පිරිසිදු පෙනුමක් ලැබී තිබුණි. අනවශ්‍ය පරණ ලිපි ගොනු ඉවත් වී පෝලිම් අඩු වී දවල් 1.00 පමණ වන විට මහජනතාව නැත්තටම නැති තරමට වැඩ ඉක්‌මන් වී තිබුණි. තරුණ ලිපිකාරිනියන්ගේ මේස මත මල් පෝච්චි ද සමහර විට මට පෙනේ. මට මහත් තෘප්තියක් සතුටක් ඇති විය. මා යමක් කළා යයි තෘප්තියක් මට දැනිණ. සේවය ලබා ගැනීමට එන බොහෝ මිනිසුන්ගේ වෙහෙසකර මුහුණු දෙස මට දැන් අවංකව බැලිය හැකිය.
එදින බදාදා දිනයකි. කාර්යාලය අවසන් වී ලිපි ගොනු කීපයක් බලා රියෑදුරුව නිදහස් කර නිවසට යැමට පිටත් වීමි. වත්තල ප්‍රදේශයට රථය ළඟා වන විට අනුරාධපුරයේ සේවය කරන මගේ මිතුරු නිමල් රාත්‍රි 10.00 ට ඇති ගුවන් යානයෙන් විදේශගත වීමට අප නිවසට එන බව කියා තිබූ බව මට සිහිපත් විය. මම වෙලාව බැලුවෙමි. එහි ප.ව. 6.30 සටහන් විය. ඔහු එන්නේ වාහනය සමඟ රියෑදුරු ආපසු යෑවීමටය. මා ඔහු ගුවන්තොටුපළට ඇරලවිය යුතුය. මම රථයේ වේගය වැඩි කළෙමි. ජාඇල පසු කර යන විට පොලිස් නිලධාරියෙක් පාරට අත දමනු මට පෙනුණි. මම වහාම තිරිංග පාගා රථය නැවැත්වීමි. පොලිස් නිලධාරියා මා ළඟට පැමිණෙන අතර, තවත් වෑන් රථයක් මා පසු කර ඉදිරියට ගොස් බොහෝ ඈතින් නවත්වනු ද මට පෙනිණ.
"දන්නවද කොයි තරම් වේගෙන්ද ආවෙ කියලා" රථයේ වීදුරුව පාත් කළ විට නිලධාරියා අකාරුණික හඬින් මගෙන් ඇසීය.
"වෙන්න ඇති. සමාවෙන්න. මට හුඟාක් හදිසි ගමනක් යන්න තියෙනවා." කී මම මා කවුදැයි යන්නද හඳුන්වා දී හැඳුනුම්පත ද දුන්නෙමි.
"කෝ දෙන්න බලන්න ලයිෂන් එක."මම සාක්‌කුවට අත දමා රියෑදුරු බලපත්‍රය සෙවූමුත් එය නොවීය. කාර්යාලයීය බෑගයේද බැලුවෙමි. එය නොවීය. මට මහත් අසීරුතාවක් දැනුණි. කාර්යාලයේ මේසයේ උඩ ලාච්චුවේ අද උදේ එය තැබූ බව මට සිහි වූයේ එවිටය.
"ලයිසන් එක ඔෆිස් එකේ දාලා ඇවිත්. මං අවශ්‍ය නම් ඒක හෙට ඉදිරිපත් කරන්නම්."
"ඒකනේ කියන්නේ මහත්තයො· නීතිය ගැන කතා කරනවා වගේම නීති රකින්නත් එපායෑ. ඕක තමා නීති ගැන කතා කරන අයම තමා නීති කඩන්නෙ. හරි නම් දඩයක් ගහන්නත් ඕනෑ. ඒත් කමක් නෑ යන්න. හෙට පොලිසියට ලයිසම පෙන්නන්න." මම ඔහුට ස්‌තුති කර මෝටර් රථයට නගින විටද ඔහුගේ කතාවේ සරදම ගැන ඇති වූයේ පිළිකුලකි. ඔහු මා ගැන කලින් දැන සිටියාද? ඔහු වැනි කෙනෙකුට අප වැනි අයට එසේ කීමත් සතුටක් ඇතිවනු ඇතැයි සිතීම හැර වෙනත් යටි අරුතක් මට නොදැනිණ.
මෙම සිද්ධිය වී දෙවන දින උදැසන මා කාර්යාලයට ගියා පමණි. දුරකථනය නාද විය.
"හලෝ විඡේ ද?"
"ඔව්."
" මං මිනිස්‌ට්‍රියෙන් සෙනෙවි. විඡේ දැක්‌කද අද පත්තරේ."
"නෑ ඇයි. මං තාම බැලුවේ නෑ."
"විඡේ ගැන ලොකු නිවුස් එකක්. එඩිටෝරියල් එකතුත් ලියලා."
"මොකක් ගැනද?"
" මාර්ග නීති කැඩීමක් ගැන" මට චිත්‍රයක් සේ සියල්ල සිහිපත් විය. මා අතිරේක ලේකම් සෙනෙවිරත්නට ස්‌තුති කර ඉක්‌මණින් පුවත්පත ගෙන්වා ගෙන බැලීමි. ජාතික පුවත්පතක පළමු පිටුවේම දෙවන ප්‍රවෘත්තියට හිමිතැන. විනාඩි පහක මගේ සුළු සිදුවීම· මරණයක්, තුවාල වීමක්, අනතුරක් හෝ මාර්ග තදබදයක්‌වත් ඇති නොවුණු සිදුවීමකට දී ඇති ප්‍රසිද්ධිය.
"කොමසාරිස් ජනරාල් මාර්ග නීති උල්ලංඝනය කරයි." යටතේ එය පළ වී තිබුණි. නීති කඩයි කියා දැමීමට වඩා බරසාර වැඩියිනෙ එහෙම බලන අයට කුතුහලය - ත්‍රිල් එක - සියල්ල ලැබෙනවා. එදින පොලිස් නිලධාරියා සඳහන් කළ "නීති රැකීම ගැන නිතර කතා කරන" යන විශේෂණයට සමාන පද එම වාර්තාවටද ඇතුළත්ව තිබීම මා තුළ ඇති කළේ පිළිකුලකි. කර්තෘ වාක්‍යයකුත්· මොන තරම් බරපතළ සිද්ධියක්‌ද? පත්‍ර නොව, පත්‍ර කලාව විකිණෙන හැටි··...
පසු දින මට අපගේ අමාත්‍යාංශය යටතේම ඇති කුඩා දෙපාර්තමේන්තුවක කොමසාරිස් ලෙස මාරු කරන ලිපිය ලැබුණි. අලුත් පත්වීමට යෑමට මා මේසය අස්‌පස් කරන විට මාණ්‌ඩලික නිලධාරීන් කීප දෙනකු, අලුත් ප්‍රධාන ලිපිකරු, මගේ ලේකම්වරිය ලෙස සේවය කළ නිපුනිකා සහ තවත් ලිපිකරුවන් පහළොස් දෙනකු පමණ කාමරයට ඇතුල්වනු මගේ දැසේ පටලයක් තුළින් මට පෙනේ. මම හිස ඔසවා බැලීමි. කාමරය පුරා ළෙන්ගතුකම සමඟ නිහඬතාව පිරී ඇත. ආදරණීය දුකකින් මගේ හද සැලිණ.
"සර්, සර් ගැන අපට හරි කනගාටුයි." තරුණ නියෝජ්‍ය කොමසාරිස් පාලිත නිහඬතාව බින්දේය.
"මං ගැන? මං ගැන ඇයි කනගාටු වෙන්නේ."
" නෑ රට ගැන. රටට යන කල ගැන."
ඒ කීවේ ලිපිකරු ලලිත් විය යුතුය. ඔහු අවංක තරුණ කොල්ලෙකි.
"මං ගියාට තව කවුරු හරි මෙතනට එනවනෙ. ඔයාලාගෙ සේවය මිනිස්‌සුන්ට අවංකවත්, දයාවෙන් යුක්‌තවත් ඉටු කරනවා කියලා සතුටු වෙන්න. මටත් ඒ සතුට තියෙනවා."
"සර් දන්නෙ නැතුව ඇති මේක ප්ලෑන් කරලා කරපු වැඩක් සර්." බිඳුනු හඬින් ඒ කීවේ සහකාර කොමසාරිස් කුමාරිය. ඇගේ දැස් දිලිසෙනු මට පෙනේ.
"මොනවා."
"ඔව් සර්, මෙතන ඉන්න දෙතුන් දෙනකුට පාඩු වුණා පසුගිය සති දෙකට. ඒ අය ප්ලෑන් කළා සර් එදා හවස ලාච්චුව අරින කොට සර්ගෙ ලයිෂන් එක තිබිලා නෑ. තිබුණා නම් සර්ට දැක්‌කම ගන්න මතක් වෙනවනේ. ඒ අය ඒක අරං තියලා. පහුවදා උදේම ඇවිත් ලාච්චුවට දාලා. පත්තරෙන්, මිනිස්‌ටර්ගෙ ප්‍රයිවෙට් සෙක්‍රට්‌රිත් අල්ලගෙන මේක කළේ. අපට දුක සර්ට ප්‍රශංසා කරන්න ඕනෑ එකේ වෙච්ච වැඩේට."
"මේ ටික කාලෙට මේකෙ මොන තරම් වෙනසක් වුණාද? ප්‍රමෝෂන් දෙන්න වැඩ කරපු සර්ට කළ දේ. ඒ හොඳ සර්ට එළියෙ ඉන්න මිනිස්‌සු කියයි. අපට දුක සර්ට උඩින් ඉන්න උන්ට මේ ඇත්ත නොතේරෙන එකනේ."
"ඔය ගොල්ලන්ට බොහොම ස්‌තුතියි. මං ගැන හිතනවට. මම මේ දේවල් බලාපොරොත්තු වුණා. ඒත් මට හිතුණෙ නෑ වැඩ කරලා, හරි දේ කරලා. හොරකං නොකර, මේ තරම්ම කැත විදියට නිලධාරියෙකුට සලකන්න උඩ ඉන්න අයට පුළුවන්ද කියලා" මම සෙමින් කීවෙමි.
"සර් වගේ අය හිටියට එයාලට වැඩක් නෑ. මිනිස්‌සුන්ට, රටට වැඩක් කරන්න ඔය කතා කරන කාටවත්ම ඕනෑ නෑ සර්. සර්ව තියාගන්න කතා කරන්නේ, අගය කරන්නේ පහළ ඉන්න අපි විතරයි. මේක හදන්න පුළුවන් රටක් නෙමෙයි සර්."
"හදන්න පුළුවන් හොඳ ඒකාධිපති පාලනයකින්." ඒ ලලිත් විය යුතුය.
"ඔව් සර්, සර් වගේ අයගෙන් අපට ඉගෙන ගන්න හුඟාක් දේවල් තියෙනවා." නිපුනිකාගේත් තවත් අයගේත් ඇස්‌වල කඳුළු මගේ කඳුළු අතරින් මට පෙනිණි.
"ඔව්. ඔයගොල්ලවත් හරි දේ කරන්න ඉගෙන ගන්න. නැත්නම් අපේ පරම්පරාවෙන් පස්‌සෙ මේ රැකිල තියෙන ටිකත් ඉවර වේවි." මම හැමදෙනාටම ආචාර කළෙමි.
අදට ඒ සිදුවීමට හරියටම මාසයක් බව ඉබේටම සිහිවිය. ගුවන් යානය තෙල් ලබා ගැනීමට ඊළඟ ගුවන් තොටුපළට තවත් විනාඩි දහයක් ඇතුළත ළඟා වන බව ගුවන් යානයේ සේවිකාව මිහිරි හඬින් කියනු මට ඇසිණ.
පෞරුෂ වර්ධනය
ගාමිණී ඒකනායක
උපන්දා සිටම නුවර පළාතේ බොක්‌කාවල හද්ද පිටිසර ගමේ අප්‍රමාණ දුක් කන්දරාවක් තරණය කරමින් ආණ්‌ඩුවේ විධායක නිලධාරියකු වූ සුමනරත්න පළමු පත්වීම භාරගෙන යාංතං මාස හයක්‌වත් ඉක්‌මවීමටත් පෙර බිරිඳ වූ සුද්දිගේ අඬවැඩියාව පටන් ගත්තේය. ඇයගේ එකම ඉල්ලීම වූයේ පුත්‍රයාත් රැගෙන කුලියට හෝ කොළඹ පදිංචියට යා යුතු බවය.
"ඔයා විතරක් ගිහිං හරියන්නෑ... මේ ළමයටත් අනාගතයක් කියල එකක් තියෙන්ට ඕනෑ...."
"අනාගතේ හදාගන්ට කොළඹම යන්න කියල එකක් නෑ.... ඔය ඉහළට ගිය ලොක්‌කො වැඩි හරියක් ගමේ මිනිස්‌සු..."
"පිස්‌සු නං කතා කරන්ට එපා... මෙතන ළමයටයි මටයි හැමදාම කැලේ කාල වළේ බුදියන්ට කියලද ඔයා කියන්නෙ... ඔයාවගේ කොලෑවෙන්ට දෙන්ට බෑ. මේ ළමයගෙ පෞරුෂ වර්ධනය හදන්ට නං ඉහළ සමාජයට යන්ටම ඕනෑ..."
මේ කන්දොස්‌කිරියාව සුමනරත්නට හොඳ හැටි පදම් වී ඇති නමුත් කොළඹ පදිංචියට යැමට ඇති අනේක බාධා සුද්දිට නොතේරීම පිළිබඳ කෝපයක්‌ද හටගත්තේය. කුඩා අවධියේම පියා අහිමි වූ සුමනරත්නට එකම පිහිට වූයේ මව පමණි. වත්තෙන් පිටියෙන් එහෙං මෙහෙං අහුලාගත් කොස්, දෙල්, පුවක් ඇතුළු ගඩා ගෙඩි කඩමංඩියට විකිණීමෙන්, ඉඳහිට හෝ ලැබෙන දවස් කුලියෙනුත් සුමනරත්න ලොකු මහත් කිරීම මවට අති දුෂ්කර කාරියක් වුවද ඈ ඒ බවක් නොඅඟවා සුමනරත්නට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා දීමට තරම් ධෛර්යවන්තියක වූවාය. තරුණ විය ගෙවී යැමටත් පෙරම සැමියාගේ වියෝව සිදුවූ නමුත් ඇය වෙනත් විවාහයක් කර නොගත්තේ සුමනරත්නට ඉන් ඉස්‌තීරෙටම හානියක් වේ යෑයි පුරෝකථනය කළ නිසාය. සුමනරත්න වෙනුවෙන් සිය තාරුණ්‍යය කැප කළ ඇය සුමනරත්න විශ්වවිද්‍යාලයෙන් පිටවන විට සම්පූර්ණයෙන්ම ඇටසැකිල්ලක් බවට පත්වී සිටියාය. එවන් අම්මා කෙනකු කරපිංචා නැට්‌ටක් සේ ඉවත දමා කොළඹ යැමට තබා ඒ ගැන සිතීමටත් සුමනරත්නට අපහසු කරුණකි.
අනෙක් අතට තමා මිය යා යුත්තේ මෙම පුංචි නිවසේම බව ඇය මංතරයක් මෙන් නිතරම කියන බැවින් එවැනි යෝජනාවක් කිරීමටද සුමනරත්නට ශක්‌තියක් නැත. එබැවින් ඔහු දෙලොවක් අතර හිරවී සිටියේය. අනෙක් අතට ආර්ථික ප්‍රශ්නයද මහමෙරක් තමා යටකොට ඇති බව සුමනරත්නට නිතරම සිහිවේ. විධායක නිලධාරියකු වුවද ලැබෙන පඩියෙන් දිනපතා බස් ගාස්‌තුව දැරීමෙන් පසු ඉතිරියක් නැති තැන හවුලේ කුඩා කාමරයක නතරවී කුමක් හෝ එකිනෙදා ගිලදමා සති අන්තයට ඒමට සුමනරත්න පුරුදු වී සිටියේය. එහෙත් සති අන්තයේ සුද්දීගේ කන්දොස් කිරියාවේ අඩුවක් නම් නැත.
"ඔයාට තේරෙන්නැද්ද.... කොළඹ ගියාම යන වියදම... කුලියට ගෙයක් ගන්ඩ කීයක් යනවද... ඒවට මාස 6 කවත් ඇඩ්වාන්ස් එකවර දෙන්ට ඕනෑ. ළමයි ඔය මෙහෙ වගේ හිතෙන හිතෙන හැටියට ලොකු ඉස්‌කෝලවලට දාන්ට බෑ."
සුමනරත්න බිරිඳට කඩාගෙන පැන්නේ ඒ තර්කය පමණක් ඉදිරියට දැමීමෙනි. අම්මා පිළිබඳ තර්කය නොදැම්මේ ඈ එක ක්‍ෂණයකින්ම නිෂේධනය කරන බව හොඳටම දන්නා නිසාය.
"එහෙම කියල බෑනෙ.... මෙහෙ බොක්‌කාවල හිටියොත් ලිප් බොක්‌කෙම තමයි... කොළඹ එහෙමද... හොඳ ඉස්‌කෝල... ඉහළ දහම් පාසල්, ක්‍රීඩා අරවද... මේවද.. මෙහෙ මොනවද තියෙන්නෙ..."
"මෙහෙත් ඕව සේරම තියෙනවා".
"තියනවා කෙහෙල් මල... ඉස්‌කෝලයක් තියෙනවා පොල් අතුමඩුවක්, දහම් පාසල කියල එකක් තියෙනවා එක පැත්තක් ගරා වැටිල.... ක්‍රීඩා කියල මොනවද කරන්නෙ... ගොයං කපපු කාලෙට විතරක් වෙලේ බෝල ගැහිල්ල.... ආශ්‍රය කරන්ට වෙන්නෙ කවුද ලපයි, සිපයි.... කොළඹ ඉන්කෝල කීවාම ඕනැ තැනක පිළිගන්නවා. අහවල් හාමුදුරුවන්ගෙ දහම් පාසලේ කීවාම නම්බුවක්.... ඒවට එන්නෙත් දියුණු ළමයි. අපේ ළමයගෙ පෞරුෂත්වය හැදෙන්නෙ එතකොට... ඔය ටීවී එකේ පෞරුෂ වර්ධන මහත්වරු කියන්නෙම දරුවන් ඉහළ සමාජයකට දාන්ට කියලානෙ..." නැත්නම් පෞරුෂ වර්ධනය වෙන්නෑ කියලනෙ...."
දුරදිග නොපෙනුනත් සුද්දීගෙ කතාවෙත් ඇත්තක් තියෙන බව සුමනරත්නටත් නොවැටහුනා නොවේ. පේරාදෙණියේ දී තමා ඒ සමාජය යාංතං අමාරුවෙන් ජයගත්තේ ගී ගැයීමට ඇති හැකියාවත් කලාවට තිබූ උපන් හැකියාවටත් පිංසිදු වන්නට බව සුමනරත්නට ඉබේටම සිහිපත් විය. පේරාදෙනියේ දී මහා කලා කාරයන් මෙන් වෙස්‌වලාගෙන සිටි කළු විජයා, ගොඩ්ඩා බිමටම සමතලා කළේ මේ උපන් හැකියාවය. එබැවින් තම පුත්‍රයාට ඒ ඉරණම අත්නොහල යුතු බවද සිහිපත් විය.
පුතාගේ පෞරුෂ වර්ධනයත්, අම්මාත් තරාදියේ දෙපැත්තට දමා මාස ගණනක් තිස්‌සේම දොaලනය වූ සුමනරත්නගේ චිත්ත සන්තානය අකමැත්තෙන් හෝ අවසානයේ කොළඹ යැමට අරමුණු කරගත්තේ අම්මා යාබදව පදිංචිව සිටි ලොකු නැන්දා ළඟ නතර කිරීමේ බලාපොරොත්තු වෙනි. ඒ බව අම්මාට දැන්වීමට තරම් සුමනරත්නට ධෛර්යක් නොතිබිණි.
"ඔයාට කියන්ට බැරිනං... මම කියන්නං... රැව්ලයි, කැඳයි දෙකම බේරගන්ට බැහැනේ..." සුද්දී කෑගැසුවේය.
"එහෙම කියන්ට එපා... ඔයාට ලොකු නැති උනාට අම්මා මට කරපු කැප කිරීම දන්නෙ මම විතරයි.... ඒ හිංද එක පාරම ලබ්බ ගලේ ගැහුව වගේ කියන එක හරිනෑ..."
සති අන්තයක දිනක් අම්මා හෙමිං හෙමිං සුමනරත්නට සමීප විය.
"පුතේ මම ගැන හිතන්ට එපා.... දරුව ගැන හිතල හොඳක් වෙනවනං කොළඹ පලයල්ල..." සුමනරත්න දැස් අදහාගත නොහැකිව බිරාන්තව බලා සිටියේය." සුද්දි වැඩේ හොඳහැටි අනා ඇති බව මොහොතකින් පසක් විය.
"අනේ මංද... අම්මේ..." සුමනරත්න දිග සුසුමක් පිට කළේය.
සුද්දීගේ අඬවැඩියාවත්, පුතාගේ පෞරුෂ වර්ධනය සඳහාත් සුමනරත්නට අකමැත්තෙන් හෝ කොට්‌ටාවේ කුලී නිවසකට පදිංචි වී යැමට සිදුවිය. කාර්යාලයෙන් ලබාගත් මාස දහයේ ණය මුදලෙන් වැඩිහරියක් නිවසේ අත්තිකාරම් වශයෙන් ගෙවීමෙන් පසු ඉතිරි වූයේ ඉතාම සුළු මුදල් ප්‍රමාණයකි. ගමේ පාසලෙන් අස්‌කරගත් පුතාට ඉක්‌මනින් ලොකු පාසලක් සොයා ගැනීමට නොවිඳිනා දුකක් වින්දේය. එහෙත් ඒවාට ඇතුළුවීමට තරම් බලපුළුවං කාරකමක් තමාට නැති බව ඔහුට ඉක්‌මනින්ම අවබෝධ විය. තමාගේ විශ්වවිද්‍යාල සමකාලීනයන් බොහෝ දෙනෙක් අමාත්‍යාංශ ලේකම් මට්‌ටමේ සිටියද ඔවුන් සියල්ලගේම පිළිතුර වූයේ ඔය අමාත්‍යාංශයෙන් නං මේ ලෝකෙ වැඩක් කර ගැනීමට බැරි බවත් වෙන ඕනෑම අමාත්‍යාංශයකින් ඕනැම උදව්වක් කළ හැකි බවත්ය. මාසයක් පුරාවටම පාසලක් නොමැති දරුවා ගෙදර සිටීම බරපතළ ප්‍රශ්නයක් වූ බැවින් කිසිවක් කර කියාගත නොහැකිව අවසානයේ ජාත්‍යන්තර පාසලකටවත් ඇතුළු කිරීමට තීරණය වූ අතර එහි ගාස්‌තු දැකීමෙන් සුමනරත්නට දෙලොව රත්විය. සුද්දීගේ කනකර සියල්ල උකස් කර පාසලට ඇතුළු කළ අතර මාසික ගාස්‌තු වෙනම දහස් ගණනකි. ඒ මදිවාට ඇඳුම් පැළඳුම්, ප්‍රවාහන ගාස්‌තු... සුමනරත්නට දෙකාංසෙට දාඩිය දමන්නට පටන් ගත්තේය.
"තාත්තෙ අනික් ළමයි ක්‍රිකට් ප්‍රැක්‌ටිස්‌වලට යනවා... ටීචර් කීවා මොකක් හරි එක ක්‍රීඩාවක් කරන්ට කියල. එක්‌කෝ ස්‌විමිං...."
පෞරුෂ වර්ධනයට නං ක්‍රීඩාව තිබිය යුතුමය. අනික් අතට ලොකු ඉස්‌කෝලෙක ක්‍රිකට් ටීම් එකේ හිටියත් කොම්පැනියක රස්‌සාවකට ලේසියෙන්ම ගියෑකි... නැත්තං කොළඹට ආපු එකෙන් වැඩක් නැත. සුමනසේන කල්පනා ලෝකයක අතරමංව සිට යළිත් අවදිවිය.
"පඩි ගත්ත ගමං සල්ලි ගෙවල ප්‍රැක්‌ටිස්‌වලට දාල දෙන්නං..."
සිය පුත්‍රයා සමඟ ක්‍රිකට් පාසලට ඇතුළු වූ පළමු දිනයේම සුමනරත්න හොල්මං විය. පාවෙන මාලිගා වැනි, බෙන්ස්, හැමර්, මොන්ටේරෝ, ඩිපෙන්ඩර් පමණක් නොව ඇසටින් මාටින් වලින් පිරීගිය හාත්පස පරිසරයේ තුංකාල් හැඳගත් ගෑනු පිරිමි මස් පර්වත ඉංගිරිසියෙං කෑකෝගසමින් දරුවං එහෙං මෙහෙන් ආං බාං කරුනු දැකගත හැකිවිය. ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයකුට අයත් එම පාසලේ මුල් දිනයේම දහසේ නෝට්‌ටු කීපයක්‌ම ඇතුළුවීම් ගාස්‌තුව වශයෙන් ගෙවූ පසු මාසික ගාස්‌තු, බඩු මුට්‌ටු ගාස්‌තු වෙනම ලැයිස්‌තුවකි. "මදැ ක්‍රිකට් ගහන්ට ආවා.." ඔහු තමන්ම හෙමිහිට කියා ගත්තේය. ඔහු වටපිට බැලුවේ ඔහු වැනි අසරණයන් තවත් ඇත්දොaයි යන දෙගිඩියාවෙනි. තමා වැනිම අහිංසක පෙනුමකින් යුත් තැනැත්තෙක් දැක සැනසීමෙන් ටිකෙං ටික ඔහුට සමීප වූයේ තව තවත් වැඩි විස්‌තර දැන ගැනීමටය. ඔහු තමා දෙස අඩ සිනාවක් පෑවේය.
"කාගෙ ළමයද ඔයා එක්‌කගෙන ආවේ?..." සුමනරත්නට පොළව පලාගෙන යන්නට සිතුනි. එකත් එකටම ඔහු රියෑදුරෙක් විය යුතුය. සුමනරත්න ලැඡ්ජාවෙන් එතනින් ඉක්‌මනින්ම ඉවත් වූයේ ඉන්පසු ඒ කාර්යය සුද්දිටම භාරදීමේ අටියෙනි.
"ක්‍රීඩාව විතරක් බැහැනේ... දහම් පාසලකටත් දාන්ට වෙනවා..." ඒ සුද්දිගේ තවත් නියෝගයකි. දහම් පාසල නිසා තමාගේ ජීවිතයට කොපමණ නං ආලෝකයක් ලැබී ඇත්දැයි සුමනරත්නට යළි යළිත් සිහිවිය. එබැවින් මෙවර සති අන්තය ඒ සඳහාම වෙන් කිරීමට තීරණය කළේය.
"අප්පේ ඉස්‌කෝල දාන එක ලේසිය... යාකෝ දහම් පාසල් දාන එකනේ අමාරු..." දහදිය වගුරු පෙරමින් ගෙට ඇතුළු වූ සුමනරත්න එහෙම පිටින්ම යාබද පුටුවට බර දුන්නේය. පුටුව ජරාස් ගාමින් පස්‌සට ඇදී ගියේය.
ප්‍රකට දහම් පාසල් කීපයකටම ගොස් පිංසෙන්ඩු වුවද ගමේදී මෙන් ඇතුළු කිරීම පහසු නොවන බව සුමනරත්නට තේරුම් ගියේය. බොහෝ දහම් පාසල් වලින් දැනුම් දුන්නේ පාලන මණ්‌ඩලේ නිලධාරින් හමුවන ලෙසය. සුමනරත්න කාර්යාලයේ නිලධාරීන්ගෙන් මේ ගැන විපරම් කළේය.
"අපෝ තේරෙන්නැද්ද... ඔය රස්‌තියාදු කරන්නෙ මොකටද කියල... ගාණක් කඩාගන්නට... ඔය හදන්නෙ. ඒ විතරක් නොවේ පාලක මංඩලේ උන්ට විස්‌කි අරං දෙන්ටත් ඕනෑ.... මම නං ළමය දැම්මෙ එහෙම.... පැංෂන් කාරයො තමයි ඕවට රිංගාගෙන ඉන්නේ..."
"මොන බංබුවක්‌ද.... දහම් පාසලට දාන්ට අරක්‌කු දෙන්නෙ මොන රටේද යකෝ... මට නං දැං කොළඹ එපා වෙලා තියෙන්නෙ...." සුමනරත්න කෑගැසුවේය.
තීරු බදු සහන බලපත්‍රය ලැබුණේ මේ අල්ල පනල්ලේය. කාන්තාරයේ අතරමං වී සිටි සුමනරත්නට බලපත්‍රය ක්‍ෂේමභූමියකි.
"කෙලින්ම දහයක් අතේ...."
බලපත්‍රය විකුණා ණය තුරුස් ටික ගෙවා දමා ඉතිරි ටික පොතක පතක දාගන්නට මැවූ සිහින බලාපොරොත්තු නොවූ පරිදි සුනු විසුනු වී ගියේය.
"පිස්‌සුද? මේ වගේ චාන්ස් එකක් ආයෙ කවද්ද එන්නේ.." මෝඩ වෙන්ඩ එපා. මොන ජාතියක් හරි දාල ගමු කාරෙකක්..." ඔච්චර ලාබෙකට දීලත් ගන්ට බැරිනං නිකම්ම දෙනකංද බලා ගෙන ඉන්නෙ..." සුද්දිගේ ඉහේ මලක් පිපි ගොසිනි. බලාගෙන ගියාම ඒකත් ඇත්තය. ක්‍රිකට් ප්‍රැක්‌ටිස් වලට මෝටර් රථයෙන් ගිය තරමට පිළිගැනීමත් හොඳය. අවසානයේ ගමේ තිබූ වී පල්ලාහක කෑල්ල බැංකුවට තබා ණයක් ගත්තේ සුද්දිගෙන් බේරෙන්ට බැරිම තැනය.
"මහ රාත්තිරියේ ඝෝෂාවකි. හොඳ හැටි බී ගත්තු මිනිහෙක් ගේට්‌ටුව ළඟ අමු හිංගලෙන් දෙස් දෙවොල් තියන ශබ්දයකි. සුමනරත්න හින් සීරුවේ කරුවලේ ගේට්‌ටුවට සමීප වූ විට දුටුවේ උදේ හවා තමාට කටපුරා මහත්තයා කියන ජුවානිස්‌ය. සුමනරත්න පසුදිනම වහාම නිවාස හිමියාට කතා කළේය. ඔහුගේ අදහස වූයේද යාබද පැරණි ගම්මු පිටගංකාරයෝ එක්‌ක බද්ධ වෛරයකින් සිටින බවය. ඔවුන්ගේ පාරම්පරික ඉඩකඩං පිටස්‌තරයන්ට විකුණා දැන් ඉරිසියාවෙන් පෙලෙන බවත් සුරාවෙන් මත් වු විට පමණක් පිටගංකාරයෝ මතක් වෙන බවත්ය.
සුමනරත්න අලුත්ම මෝටර් රථයෙන් අවුරුද්දට බොක්‌කාවලට ගියේ ලැඡ්ජාවත් මුසුවූ ආඩම්බරයකිනි. සුද්දී නං ආවේ ගියේ මහා උජාරුවෙනි... නවීනතම නාන කාමර පහසුකම් මහ ගෙදර නොමැති වීම නිසා සුද්දී ද දරුවාද ඉක්‌මනින් පසුදිනම කොළඹ යැමට අවැටිලි කළහ. සුමනරත්නට නං ගමපුරා තව දවස් කීපයක් හක්‌කලං ගැසීමට ඕනෑකම තිබුණද සුද්දි නම් ඊට එකඟ වුනේ නැත.
"පුතේ ඉඳල හිටලවත් ගමට ඇවිත් යන්ට ඕනෑ වෙයි. ගම අමතක කරන්ට එපා ගමේ මරණ මඟුල්වලට ආවේ නැති එකට කසු කුසු තියෙනවා.. ඒක පුතාට හරි නෑ..."
අම්මාගේ කතාවේ කුමක් හෝ ගැඹුරු යමක් ඇතැයි නිකමට සිතිනි. අම්මා හුඟාක් දුරට යමක සැර බාල කරල කීවා විය හැකිය.
ලයිට් බිල්, ටෙලිෙµdaන් බිල්, ප්‍රවාහන ගාස්‌තු, ස්‌කෝල ගාස්‌තු, ප්‍රැක්‌ටිස් ගාස්‌තු, වාහනේට තෙල් ඒ අස්‌සේ ඔපිස් එකේ මරණ ගෙවල් මඟුල් ගෙවල් ඉවරයක් නැත. මේ සේරටම මුහුණ දී ගත නොහැකිව සුමනරත්න තවත් අතිරේක රස්‌සාවකට බැස්‌සේ ගමේම කාපු කට්‌ටට පිංසිදු වන්නටය. සුමනරත්න මේ වළෙං ගොඩ ඒමට තෝරාගත්තේ රක්‍ෂණ නියෝජිත වැඩකි. මුලදී මුලදී තරමක් අසීරු වුවද ඉක්‌මනින්ම හත්අට දෙනකු කෙටි කාලයක් තුළ දැලට හසුකර ගැනීමට ඒ හැටි අපහසුවක් නොවීය. යංතං දැනෙන ගාණක් අතට ලැබෙන්ට පටන් අරං මාස තුනක් ඉක්‌මවූවා පමණි. උදේ පාන්දරම පොලිස් වාහනයක් ගේ ඉදිරිපිට දැකීමෙන් සුමනරත්න බිරාන්ත විය.
"කව්ද සුමනරත්න කියන්නෙ..."
"මම තමයි".
මේ වාහනේ රක්‍ෂණය කරල තියෙන්නෙ කවුද? නිලධාරිය ලිපිගොනුවක් පෙන්විය.
"ඔව්".
"මේක හොරකම් කරපු වාහනයක්‌නෙ මහත්තයා...." සුමනරත්න උඩගොස් බිම වැටිනි. කරන්ට දෙයක් නෑ. අත්අඩංගුවට ගන්ට වෙනවා."
සුද්දි මහා හයියෙං කෑගසුවාය.
සුමනරත්න දාගත් ජීප් රථය වේගයෙන් නොපෙනී ගියේය. කාර්යාලයේ ප්‍රධානියාට පිංසිදු වෙන්ට හවස් වෙනවිට ඇප මත නිවසට ඒමට සුමනරත්නට හැකිවිය. එහෙත් අවුරුදු කීයක් නඩු කියන්ට වෙයිද දන්නෑ.. සුමනරත්න වඳින්ට ගිය දේවාලෙ හිසේ කඩා වැටී ඇත.
දවස් කීපයක්‌ම ගෙදර හරියට කෑමක් බීමක් නැත. සියල්ලෝම තැන් තැන්වලට වී මීයට පිම්බාක් මෙනි. සුද්දී බැරිවෙලාවත් ඉස්‌තෝප්පුවට එන්නේ සුමනරත්න කාර්යාලයට ගිය පසුවය.
"සුද්දියෙ එනපොට හොඳ නෑ... මෙහෙ අපිට ජීවත් වෙන්ට බෑ. මමත් ගමට මාරුවක් ගන්ට ප්‍රථම ජනවාරි වල ළමය බෝඩිං කරල අපි ගමට යං..." "වෙන කරන්ට දෙයක් නෑ... මම" කාරෙකත් විකුණන්ට කතා කරලයි තියෙන්නේ..."
සුද්දිගෙ නිහඬතාවය කියා පෑවේ යෝජනාවට එකඟ වූ බවකි.
සුමනරත්න ලට්‌ට ලොට්‌ට පටවාගත ලොරිය බොක්‌කාවලට යන විට රාත්‍රිය බෝවී තිබිණි. අම්මාටනං රටක් රාඡ්ජයක් පහළ වූවක් මෙනි. කෙමෙන් කෙමෙන් ඔවුන් ගමේ පරිසරයට හැඩ ගැහෙන්ට උත්සහ කළහ. ගමේ විහාරයටද, සුබ සාධක සමිතිවලටද, මරණ ගෙවල්වලටද බලෙන් මෙන් සහභාගි වූයේ කිසිවක් නොවූ ගානටය. එහෙත් තමාගේ පැරණි සගයන් තමාගෙන් ඈත්වන බවක් සුමනරත්නට දැනිනි. එදා තිබූ ඔවුන්ගේ අව්‍යාජ සිනාව අන්තරස්‌දාන වී ගොසිනි. එහෙ ඉන්ට බැරුව ආයෙත් ගමටම බඩගාලා... ඔය පිටගං කාරයො මෙහාට නැතුවට කමක් නෑ.... තමාට ඇහෙන නොඇහෙන ගානට ඔවුනොවුන්ගේ කසුකුසුය. තමා විසින්ම ආරම්භ කළ සුබ සාධක සමිතියම දැං තමා පිටගංකාරයෙක් කර හමාරය. දෙපැත්තෙන්ම දැන් තමා පිටගංකාරයකු වී ඇතැයි ඔහුට සිතිනි. තමා පිටගංකාරයකු කළ රූපවාහිනියේ පෞරුෂවර්ධන කාරයන්ට සුමනරත්න තිත්ත කුණුහරුපෙන් තනිවම බැණගෙන බැණගෙන ගියේය.
'බැමි' කෙටි කතාව - ගුනේගෙ ප්‍රශ්ණය හරියට තේරෙන්නෙ නැහැ.
“ඒ වීර්‍ය්ය ගුණය “_ ගුනේ
........තමන්ගෙ බැමි ලිහාගන්න බැරි මනුස්‌සය කොහොමද මුණිදාස, අනුන්ගෙ බැමි ලිහලා දෙන්න ධර්ම දේශනා කරන්නෙ…………? _ නායක හාමුදුරුවො
මම හිතන්නෙ නායක හාමුදුරුවො හරි? ලොකු සාදුට, පොඩි සාදු වීරයෙක් නොවෙයි.
නමුත් ලේඛකයාට පොඩි සාදු වීරයෙක්. එවැනි Fantasy ඇති අය මෙම සමාජයේ ඉන්නවා--
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
අද හදිසියේම ලොකු අයියා ඇවිත් ගියා.”
නිවසට ගොඩවත්ම මගේ කාර්යාල බෑගය අතට ගනිමින් පියුමි පැවසුවාය. සපත්තු ගලවා දමා කාමරයට යන ගමන වෙනස් කර මම සැටියට බර වුණෙමි.
“තාත්ත ගේ තුන්මාසේ දානෙ ගැන කතා කරගන්න වෙන්න ඇති?”
මම පියුමි දෙස බැලුවෙමි. ඇය මුළුතැන්ගේ දෙසට යන උළුඅස්සට හේත්තු වී සිටියාය. මගේ කාර්යාල බෑගය සාලයේ මේසය මත විය.
“නෑ… නෑ.. ලොකු අයියා ආවේ පහළ කජු වත්තේ පොල් දාමු කියන්න” පියුමිගේ හඬ වේගවත් විය. ඇය මගේ සහෝදරයාට ලොකු අයියා ලෙස ඇමතුව ද මට සහෝදර සහෝදරයින් කියා සිටියේ ඔහු පමණි.
“එයාට ඉතින් අප්පච්චි ජීවත් වෙනකනුත් ඕන වෙලා තිබුණේ ඒකනේ…” මම සැටියෙන් නැඟී සිටියෙමි. පියුමි මුළුතැන්ගේ දෙසට යන්නට වූවාය.
“කෝ පොඩි දෙන්නා…”
“පහළ කජු වත්ත පැත්තට ගියා. සෙල්ලම් කරන්න…”
* * * *
“ලොකු අයියා නම් කීවේ ලබන සතිය දිහාටම කජු ගස් ටික ගලෝල දාමු කියලා. කජුවලින් ඉස්සර වගේ ආදායමකුත් නෑනේ දැන්” මගේ බත්පතට මාළු කෑල්ලක් දමන ගමන් පියුමි කීවාය.
“ඉරිදට පුළුවන් වුණොත් මේ පැත්තේ එනව කියලත් කීවා”
“අම්මේ, මේකේ කටු ඇරල දෙන්නකෝ…” රූපවාහිනිය දෙස බලා ගත් වනම රාත්‍රී ආහාරය ගනිමින් සිටි පොඩි පුතා කෑම මේසය අසලට පැමිණියේ මුහුණ ද ඇඹුල් කරගෙනය.
“අප්පච්චිට කියලා කටු ඇරගන්නකෝ” පියුමි හිස් දීසියක් ගෙන මුළුතැන්ගේ දෙසට යන්නට වූවාය.
“අප්පච්චි; පහළ වත්තේ කජු ගස් ගලෝලා පොල් දානවා කියලා අම්මා කීවා. ඇත්තද අප්පච්චි ඒක…”
උඩුකය නිරුවත් පොඩි පුතු ඉඳුල් අත උඩට ඔසවාගෙන ඔහුගේ පතෙහි මාළු කෑල්ලේ කටු ඉවත් කරන මා දෙස බලමින් අසයි. මම කිසිත් නොකියාම ඔහු අතට බත්පත දෙමි.
“තාත්තේ; එහෙම වුණොත් අපිට කජු පුහුලන් කන්න වෙන්නෙත් නෑ. සෙල්ලම් කරන්න තැනකුත් නැතිව යනවා.”
රාත්‍රී කෑමෙන් පසුව සිගරැට්ටුවක් දල්වා ගත් මම මිදුලෙහි එහාටත් මෙහාටත් සක්මන් කරන්නට වීමි. වලව් වත්ත දෙසින් විටින් විට ඇසෙන නරියන්ගේ හූ හඬ හැරෙන්නට අවට පරිසරය නිහඬය.
“පොඩි පුතේ ; ඔය කජු තියෙන පහළ ඉඩම් කෑල්ල අපේ අප්පොච්චිට වලව්වේ හාමුගෙන් ලැබුණු තෑගි ඔප්පුවක්. ඒ කාලේ ඕකේ මහ කැලේ. ඕකේ කජු ඉන්දුවේ අපේ අප්පොච්චි.” අප්පච්චි නිතර කියන වැකිය මගේ දෙසවනෙහි දෝංකාර නැංවෙන්නට විය. මම අහස දෙස බැලුවෙමි. සඳ බොහෝ මහලු වී ඇතැයි මට සිතුණේ එයින් විහිදෙන මලානික එළිය නිසාය.
අප්පච්චි ජීවත්ව සිටියදී තම ඇස්දෙක මෙන් පහළ කජු වත්ත බලා කියා ගත්තේය. අක්කර පහක පමණ ප්‍රමාණයක විහිදී ඇති කජු වත්ත දකුණු පසෙන් වලව් වත්තටත් නැගෙනහිර පැත්තෙන් මඟුරු ඔයටත් මායිම්වී තිබුණු අතර බස්නාහිර සහ උතුරු පැත්ත මායිම්ව තිබුණේ පිළිවෙළින් ගමේ වෙල් යායට සහ ගම් සභා පාරටය. කජු කාලය නොවුව ද අප්පච්චි සෑම දිනකම උදයේ වත්තට යෑම පුරුද්දක් කරගෙන සිටියේය. කජු කාලයේදී ඔහු වැඩ කළේ නව පණක් ලද්දාක් මෙනි. දුරුතු සීතල සමඟ පොර බදිමින් කජු මල් හට ගන්නවාත් සමඟම අප්පච්චි කජු ගස් යට සුද්ද කිරීම අරඹයි. අපි ද සවස් වරුවේදී ඔහුගේ උදව්වට ගියෙමු. අප්පච්චි පහළ කජු වත්ත සමඟ කළ ගනුදෙනුවලට අම්මා හවුල් නොවූවාය. කජු වාරය අවසන් වන විට අප්පච්චිගේ මඩිය ද තරව තිබුණි.
“පිට ගෑනු කුලියට දාලා කජු ඇහිදින්න වෙලා තියෙන්නේ ගෙදරවුන් මගේ උදව්වට එන් නැති හින්දනේ.” සමහර දිනවල කජු වත්තේ සිට වැනෙමින් පැමිණෙන අප්පච්චි ගෝරනාඩු කරයි.
“තමුසෙගේ මහලොකු කජු වත්ත මම නොදන්නෙවයැ ඕකේ වුණ දේවල්.” අම්මාද ඔහු සමඟ පැටලේ.
“මොනවද? මොනවද? ඒකේ වුණේ.” අප්පච්චි වැනෙමින් කුස්සිය දෙසට යන්නට තනයි.
“මේ පොඩි උන් දෙන්නා ඉන්න හින්දා මට කියන….”
“ඔයා දැන්මම නිදාගන් නැද්ද? මා පියවි සිහිය ලද්දේ පියුමිගේ හඬිනි. සිගරැට්ටුව අවසන්ව එහි ෆිල්ටරය විසි කළේ කවර මොහොතේ දැයි මම කල්පනා කළෙමි.
“පොඩි දෙන්නා නිදිද?” මම පියුමි දෙසට හැරෙමි. ඈ නිදි ඇඳුමෙන් සැරසී සිටියාය.
“ඔව්; ඔයාටත් නිවාඩු නිසා පරණ ඉස්ටෝරු කාමරය අස්කරල දැම්මා නම් හොඳයි. ඒකේ මීයෝ දඟලනව ඊයෙත් මට ඇහුණා.”
* * * *
“අප්පච්චි…. මේ” පොඩිපුතා විසින් ඉස්ටෝරු කාමරයේ මුල්ලකට කර තිබූ පෙට්ටියක තිබී අතට ගත්තේ පැරණි දින පොත් කීපයකි. එහි මකුළු දැල් කඩමින් සිටි මම එම පොත් කීපය අතට ගතිමි. දූවිලි බැඳී තිබූ ඒවා අප්පච්චිගේ දින පොත් බව හඳුනා ගැනීමට මට කාලයක් ගත නොවූ තරම්ය. ඒවා බොහෝමයක ලියවී තිබුණේ විවිධ ගනුදෙනුය.
“පොඩි පුතා……. මේ පොත් ටික ගෙනිහින් මගේ මේසෙ උඩින් තියන්න.” අප්පච්චිගේ දින පොත් කීපය පිස දැමූ මම ඒවා පොඩි පුතු අතට දුන්නෙමි.
ඉස්ටෝරු කාමරය අස්කර නා කර කියාගෙන දවල් කෑමෙන් පසු මා ඉස්තෝප්පුවේ හාන්සි පුටුවට බර වූයේ අප්පච්චිගේ දින පොත් කීපය ද අතට ගෙනය.
* * * *
පෙර දින රාත්‍රියේ දුටු විකාර සිහිනය ගැන සිතමින් මම ඉදිරිපස මිදුල උදුලු ගාමින් සිටියෙමි. පුතුන් දෙදෙනා දහම් පාසල් ගිය පසු පියුමි ද ඊට හවුල් වූවාය. පසුගිය දින කීපයේම කජු වත්තට යමින් දර සොයමින් ඈ, ළඟ එන අප්පච්චිගේ තුන් මාසයේ දානෙට බොහෝ වෙහෙසෙන බව මම දැන සිටියෙමි. මා තුළ ඈ කෙරෙහි අනුකම්පාවක් ඇති විය.
“ආන්! කුකුළා අතින් අරගෙනම ලොකු අයියා එනවා.” පියුමි කීවේ පාර දෙස බලා ගත්වනමය.
“කෝ කුකුළා…….. අතේ නෑනේ.”
“ඕං කීවා….. මම යනවා. ලොකු අයියට කෑම ටිකක් ලෑස්ති කරන්න.” ඈ අත තිබූ ඉදලද ගෙන සිනහ වෙමින් මිදුල දෙසින්ම මුළුතැන්ගේ දෙසට යන්නට වූවාය.
* * * *
උදේ ආහාරය සඳහා පියුමි කැකුළු බත් උයා සම්බෝලයක් සාදා පපඩම් බැද තිබුණි. අයියා කැකුළු බත් සමඟ සම්බෝල කෑමට පෙර සිටම ප්‍රිය කළේය.
“කෑම මේසේ දකිද්දි මට අම්මව මතක් වෙනවා.” අයියා කෑමට වාඩිවූයේ එසේ කියමිනි.
“මල්ලි අපේ අම්මා අකාලයේම මිය ඇදුණේ ඔය කජු වත්ත නිසා කියල මට හිතෙනවා….” අයියා කැකුළු බත් පතට සම්බෝල බෙදා ගනිමින් කීවේය. මම කිසිවක් නොකියා පපඩම් දීසිය ඔහු වෙතට ළං කළෙමි.
“මල්ලිගෙත් මුල ඉඳලම ඔය වත්තේ පොල් දාන්න කැමැත්තක් තිබුණ නේ, ඕක දැන් කල් දාන්න ඕනේ නෑ.. අපි ලබන සතියෙම පටන් ගමු.” අයියා බත් කටක් අනමින් මා දෙස බැලීය.
“නෑ. ඕකේ පොල් දානවට මම දැන් කැමති නෑ. අපි පරණ කජු ගස් ටික ගලෝල කජු පැළ දාමු.” මම තිර හඬින් කීවෙමි. අයියා මුවට ළං කරගත් බත් කට නැවතත් බත්පත මත තබමින් මහත් විස්මයකින් මෙන් මා දෙස බලා සිටින්නට විය.
--
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+unsubscribe@googlegroups.com.
ට්‍රීං… ට්‍රීං… ට්‍රීං…
තැපැල්කරුවා ගේට්ටුව ළඟ සිට බයිසිකලයේ සීනුව ගසයි. මම කොස්ස බිත්තියට හේත්තු කර වටපිට බැලුවෙමි. දියණියගේ කාමරයෙන් බටහිර සංගීත නාදයක් ඇසේ. මයිකල් ජැක්සන්…?
“ඔය මියුසික් එකත් එක්ක එයාට කොහොමද බෙල් ඇහෙන්නේ” මම තොල් මතුරමින් ගේට්ටුව වෙතට ගියෙමි.
“නෝන මහත්තයා මේ සැරෙත් කුඹුර වපුරන්නේ නැද්ද?” තැපැල්කරු ප්‍රශ්නයක් අසයි. ඔහු අසල්වැසි හිතවතෙකි.
“අනේ මන්දා… වැස්සකුත් හරියට නැහැ” මම ලිපිය අතට ගනිමින් කීවෙමි.
“මේ දොරකඩ කුඹුර කොහොම කරන්න බැරි ද? නැත්නම් කුලියටවත් කරවන්නයි තියෙන්නෙ.”
“හ්ම්…” මම මදහසක් නඟා ආපසු හැරුණෙමි.
“මේකට වියදම් කරන සල්ලිවලට කඩෙන් හාල් ගෙනත් කන එක වාසියි. දැන් හාල් අතිරික්තයක් කියනවනේ…” මම තනිවම කීවෙමි.
“මේ මොන පිස්සුවක් ද? මම දැන් තනියෙම කතා කරන්න පුරුදු වෙලා… හැබෑටම මේ පුරුද්දෙන් මට අත්ඇරෙන්න බැරි හැටි.”
මම ආලින්දයේ පුටුවක වාඩිවී තැපෑලෙන් ආ ලියුම් දෙස බැලුවෙමි.
“එකක් දුවගේ ඉස්කෝලෙන්… බෝඩිං ගාස්තු ඉල්ලලා තමයි. නිවාඩු මාසේ කියලා ගාස්තුව අඩුවෙනවයැ” මම ලිපිය දිග හැරියෙමි.
“අධික බඩු මිල නිසා ලබන වාරයේ සිට තවත් රුපියල් දෙදහස් පන්සීයකින් නේවාසික ගාස්තු වැඩිකළ බව කනගාටුවෙන් දන්වා සිටිමු.”
“කනගාටුව ඇතිවෙන්නේ ඉස්කෝලෙට නෙවෙයි. සල්ලි ගෙවන අපිටයි. බඩු මිල අධික වුණාට අපේ ආදායම වැඩිවුණායැ.” මා නැවත වරක් තොල් මතුරා ඇත.
මම දෙවැනි ලිපිය දිග හැරියෙමි.
“අපගේ පුස්තකාලය සඳහා ඔබගේ අගනා කෘතීන් කීපයක් ලැබෙන්නට සලස්වන්නේ නම් අපගේ ප්‍රදේශයේ දූ දරුවනට බාහිර පත පොත පරිශීලනය කිරීමේ අවස්ථාව වර්ධනය වන බව දන්වන්නේ කෘතගුණ පූර්වකවය.”
“කාරණේ නම් ඇත්ත. ඒත් දෙයියනේ මං ගාව වැඩිපුර පොත් නැහැයි කීවට මේ මිනිස්සු විශ්වාස කරාවියැ. ඔක්කොම පොත් ප්‍රකාශකයෝ අතේ. රෝයල්ටිය තාම දුන්නෙත් නැහැ. අඩු තරමින් හය මාසෙකට සැරයක්වත් ගාණක් එවපන්…” මම ඒ ලියුම පසෙකින් තැබුවෙමි.
තෙවැනි ලිපියෙහි ඇත්තේ මගේ නම නොව දියණියගේ නමයි. සුදු පැහැති ලියුම් කවරයේ ලිපිනය ඉංග්‍රීසියෙන් ටයිප් කර ඇත. මේ නිවාඩු කාලයේදී ඇය වෙත ලැබුණු දෙවැනි ලිපිය මෙයයි. මගේ උගුරෙහි කටුවක් හිරවී ඇතිවාක් මෙන් දැනේ. හුස්ම ගැනීමට අමතක වීම නිසාදෝ දෙනෙතෙහි කඳුළු පිරී තිබේ.
“මගේ කෙල්ල කා එක්කවත් පැටලිලා ද?” මගේ පපුව මැද දැවිල්ලක් මතුවී ඇත.
“තමන්ගේ දරුවා ආරක්ෂා කරගන්න හැම අම්මා කෙනෙක්ම පෙලඹෙනවා. මට හිතෙනවා මේ ලියුම කඩන්න. ඒත් කවදාවත් මම දුවගේ ලියුමක් කඩලා නැහැ. ඇයි අද විතරක් එහෙම කරන්නෙ?” මම කල්පනා කළෙමි.
“අම්මී මං ගැන තිබ්බ විශ්වාසේ මම කවදාවත් කඩන්නේ නැහැ. මම කා එක්ක හරි යාළුවෙන්න හිතුවොත් මම ඉස්සෙල්ලම අම්මිට කියලා ඉන්නම්.” දුව සිනාසෙමින් කියන අයුරු මට සිහිවෙයි. මෙතෙක් එවැනි සම්බන්ධයක් ඇතිවූ බවක් ඇය මා සමඟින් පවසා නැත. සතළොස් හැවිරිදි තරුණ දියණියකගේ බස විශ්වාස කළ හැකි ද?
“මේ කෙල්ල කුල ගෝත්‍රවලින් බැහැර සම්බන්ධයක් ඇතිකරගෙන නම්…?”
“අනේ අම්මගේ පිස්සු විකාර. ලංසි කියයි, දෙමළ කියයි, මුස්ලිම් කියයි. ඒ මදිවට තව කුල භේදයකුත් අරගෙන. නළලේ ගහලා තියෙනව ද අහවල් කුලේ කියලා. අපි හැමෝම මනුස්සයෝ අම්මී… සෝබිතාගේ දුව කියලා අනෝමාගේ මුකුත් අඩුපාඩුවක් තියෙනව ද?” දිනක් දියණිය පැවසූයේ මගේ වදනකට හරස් වෙමිනි.
වන්දනාවේ ගොස් අනෝමා හා එක බත් පතේ ඇය බත් කෑ අයුරු මම සිහි කළෙමි. සාංඝික දානය දිනයේ දී හේවිසි වාදනයට පැමිණි සෝබිතාට වාඩි ගනු සඳහා පැදුරක් එලා දුන්න ද අනෝමා පැමිණ දියණියගේ යහන මත වාඩි වෙනවාට විරුද්ධත්වය දැක්වීමට මට පුළුවන් කමක් නැත.
“හොඳයි ඒක පැත්තකින් තියමු. මේ ඉලන්දාරියා කොහොම මිනිහෙක් ද කවුද දන්නේ. කුඩුකාරයෙක් ද ඉගෙන ගන්න බැරි එකෙක් ද? අනේ දෙයියනේ… මම දෑතින් නළල පිරිමැද්දෙමි.
"කැසට් ප්ලේයර් එක දාගෙන මේ ළමයා මොනවා කරනව ද දන්නේ නැහැ. ගිහින් බැලුවොත් ගණන් හදනවා කියයි.” මම නොරිස්සුම්ව සිතුවෙමි.
“ඒත් දුව ගණන් හදන්නෙත් කැසට් එකක් දාගෙන තමයි. ඕ ලෙවල් වලටත් ඒකනේ කළේ…”
“ඔන්න අම්මී මැත්ස්වලට ඒ එකක් නැත්නම් විතරක් මට බණින්න. මට ගණන් හදන්න සින්දුවක් ඇහෙන්න ඕනැ…” දුව ඇස් ලොකු කරමින් කී අයුරු මට සිහිවේ.
“ඒ හයයි බී දෙකයි” දුව විභාග ප්‍රතිඵල ගෙන ආවාය.
“මොනවට ද බී දෙක…?” මම ඇසුවෙමි.
“මට අඳින්න බැරි ආට්වලටයි, අම්මිගේ ප්‍රියතම විෂය සිංහල වලටයි.” දුව කට ඇද කළාය.
“අනේ… අනේ… අම්මී පොත් ලියනවා දුවට සිංහල වලට බී…” මම කීවෙමි.
“බී කියන්නෙත් සම්මානයක් අම්මී. අනික් අතට කොයි ලෝකේ ද කියලා තියෙන්නේ මාත් අම්මි වගේ වෙන්න ඕනැ කියලා. දැන් බලන්න අපේ රෙදි නැන්දා… වයස නිසා ඒ මනුස්සයා රස්සාව නැවැත්තුවා. දූලා දෙන්නා ඒ රස්සාව කරනව ද? එක දුවක් මැදපෙරදිග… අනික් දුව ගාමන්ට් එකක… අම්මගේ රස්සාව කර කර හිටියා නම් හරියයි.”
“හ්ම්…” මම කීවෙමි.
“අපේ දුවට මා කියන දේ සමහරවිට ඇදය. මට ද ඇතැම් විට දුවගේ කල්පනාවන් ඇදට පෙනේ.
“මටනම් බෑ අම්මී කැම්පස් යන්න” ඇය පාඩම් කරන අතරතුරදී දිනක් කීවාය.
“ඇයි දුව…?”
“ඒ කාලේ වගේ නෙමෙයි අම්මේ දැන් අවුරුදු දහයක් විතර යුනිවර්සිටි එකේ ඉන්න වෙනවා. ඒකෙම නාකිවෙන්න මට බැහැ.”
“එතකොට දුව මොකද කරන්න හදන්නේ…?”
“ඒ ලෙවෙල් කරලා රස්සාවකට යනවා. පස්සේ ඕනැනම් ලන්ඩන් ඩිග්‍රි එකක් කරන්නම්.”
“මෙයාට රස්සාවල් හම්බු වේවි. ඩිග්‍රි කාරයින්ටත් රස්සාව නැතිකොට…”
“අම්මී බයවෙන්න එපා. මට කඩු ශිල්පය පුළුවන්…”
“ආ තාත්තී, දුවට පොඩ්ඩක් අවවාදයක් දෙන්නෙ නැද්ද ඉහළට ඉගෙන ගන්න කියලා.” මම සැමියා දෙස බලමින් ඇසුවෙමි.
“ඒ ළමයට ඕනැ එකක් කරන්න අරින්න…” සැමියා ඉවත බලමින් කියයි. තාත්තා දියණියගේ මනාපය ගන්නේ එලෙසිනි. එහෙත් දුවත් මාත් අතර ඒ අවබෝධය පැද්දෙන තොටිල්ලක් මෙනි.
දුව ගෙදරට ගවුම අඳින්නේම නැත. ඇයගේ ඇඳුම තුන්කාලේ කලිසම හා ටී ෂර්ටයයි. එහෙත් ඇය හොට්පැන්ට්ස් අඳින දිනයට මගේ මුහුණ දෙහි ලෙල්ලක් සේ හැකිළෙන බව ඇය දන්නීය. තාත්තා නාසය පුම්බා ඔරවා බැලුව ද දුව සිටින්නේ සිනාසෙමිනි.
“ඇයි තාත්ති ඔරවන්නේ මගේ කකුල් කැත ද?” ඇය අසන්නීය.
“ගෑනු ළමයි ඔහොම අඳිනව ද?” තාත්තගේ නොමනාපය ඇයට විහිළුවකි.
“තාත්ති මට ස්විමින්ග් කරන්න කියනවා. පීනන්න ඇඳගෙන යන්නේ දිය රෙද්දද?” ඇය අසන්නේ අහිංසකවය.
තාත්තා දියණියට පිළිතුරු නොදී ආලින්දයට යයි.
“මේ දහ අටවෙනි ශතවර්ෂේ කියලා හිතාගෙන අම්මී මට බණ කියනවා. අපේ අත්තම්මා ඇන්දේ ඔසරිය. අම්මා ගෙදරට අඳින්නේ කොට ගවුම. ඉතින් මම හොට්පෑන්ට්ස් ඇන්දම මොකද? මොනවා හරි හිතිලා කවුරුහරි පස්සෙන් එලෙව්වොත් මේ වගේ එකක් ඇන්දාම මට දුවන්න ලේසියි.” මා කෝප ගන්වමින් දුව තව තවත් සිනාසෙන්නීය.
ඇයගේ තර්කය මට බිඳ හෙළිය නොහැක.
“පරම්පරා පරතරය…” මම සිතන්නෙමි.
“ඉතින් මේ ලියුමට මොකද කරන්නෙ? මම සිතුවෙමි.
“අදත් කාමරේට වෙලා මැත්ස් කරනවා ඇති. ඒත් මම කොහොමහරි මේ ලියුම ගැන අහන්න ඕනෑ.” මම සිතා ගත්තෙමි.
“තාත්තට කීවොත් කියාවි මම මුල ඉඳලම දුවට නිදහස දුන්නා වැඩියි කියලා. එතැනදිත් බැණුම් අහන්න වෙන්නෙ මටයි.
කෙළින්ම දුවගෙන් අහනවා කාගෙන් ද මේ ලියමන මොකක්ද ඔයාගේ සම්බන්ධේ කියලා.” මම සිතට ධෛර්යය රැගෙන අසුනින් නැගිට්ටෙමි.
දුව කාමරයේ පාඩම් කරමින් නැහැ ගණනක් සදමින් සිටින්නීය. ඇය මා එනු දැක හිස ඔසවා සිනාසුණාය.
“බලන්නකෝ අම්මී මට පැය දෙකක් ගියා මේ ගණන හදා ගන්න. කැසට් තුනක් ඉවරයි.” ඇය ලියමින් සිටි කොළ කීපය මා වෙත දක්වමින් කීවාය.
ජ්‍යාමතික කෝණ මට ග්‍රීක් මෙනි.
“අම්මෝ… යන්තම් ඇති උත්තරේ ආවා.” ඇය ඇඟමැලි හැර පුටුවෙන් නැගිට්ටාය.
“අම්මී… මහන්සිනම් මම ගේ අතුගාලා අස්කරලා දාන්නම්.” මගේ විඩාපත් මුහුණ දෙස බැලු ඇය මගේ දෙවුර වටා අත යවමින් කීවාය.
මම හිත තද කර ගත්තෙමි. ආදරය පසෙක තබා මේ ලිපිය පිළිබඳව දියණියගෙන් විමසිය යුතුය.
මම ලිපිය ඇයගේ මේසය මත තැබුවෙමි.
“ආ… අදත් ලියුමක් ඇවිල්ලා.” ඇය හිස ඇල කරමින් කීවාය. ඇයගේ හඬෙහි ඇත්තේ තද කරගත් සිනාවක් පමණකි.
“කාගෙන් ද දුව මේ ලියමන…?” මගේ ස්වරය නොපහන්ය.
“ආ…? දියණිය මගේ ඉඟටියෙන් අල්ලා මා කරකැවුවාය.
“නිකම් ඉන්න දුවේ… මාව වැටේවි…”
“අපේ අම්මා හිතුවේ මාව වැටිලා කියලා නේද?” ඇය හඬ නඟා සිනාසුණාය.
මම ඇයගේ මුහුණ දෙස බලා සිටියෙමි.
“අපෝ… මේ මූණේ තියෙන වැහි වලාකුළු. අද උදෙන්ම ගොරවලා වහීවි… මෙහේ එන්න…” ඇය මගේ එක අතකින් අල්ලාගෙන මේසයේ ලාච්චුව විවෘත කළාය.
“මෙන්න… එදා ආපු ලියමන…” නොකැඩු එවැනිම ලිපියක් ලාච්චුවේ විය. අලුතින් පැමිණි ලිපිය ඒ මත තැබිණි.
“මගේ නම තිබුණට මේවා මට නෙවෙයි අම්මී…. සුනාරිට එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් එවන ලියුම් ගෙදරට ගෙන්න ගන්න විදියක් නැහැ. මමී හරි නපුරුයිලු. ඉතින් එයා මගෙන් උදව් ඉල්ලුවා. සුනාරි අඬනකොට දුක හිතිලා මම හා කීවා. සුදු ලියුම් කවරේ ටයිප් කරලා එවන්නේ වෙනස දැනගන්න. බෝඩිමට ගියාම මම මේවා එයාට දෙනවා. දියණිය සැහැල්ලුවෙන් කීවාය.
“දුව මොනවට ද ඕවට උදව් කරන්නේ…” මා ඇසුවේ අසන්නට දෙයක් නැති කමිනි. මගේ හදවත පුළුන් පොදක් සේ පාවෙන බවක් දැනේ.
“පව්නේ අම්මී ආදරයක්නේ…”
“දුව කිරි ටික බීලා තව ටිකක් පාඩම් කරන්න. මම ගේ අතුගාන්නම්…” මම කාමරයෙන් පිටතට එමින් කීවෙමි.
චම්පා අබේසිංහ
"මේක තාත්තට... මේක අම්මාට... මේක පුතාට..."
දිවා ආහාරයෙන් අනතුරුව මඳක් ඉසිඹු ලැබ, පුවත්පත කියවන හෝරාවේ මගේ දැහැන බිඳින්නට සමත් වූ සිඟිති හඬට මම හිස ඔසවා බැලුවෙමි.
දියණිය මදාරා කුඩා මැටි වළං කීපයක් රැගෙන සෙල්ලම් බතක් උයන්නීය. කුඩා කල පටන්ම ගෘහනියකගේ භූමිකාව රඟන්නට ඇය සැරසෙන අයුරු කදිමය. මෙයට දශක තුනකට පමණ පෙර මගේ නැගණිය ද මේ අයුරින්ම සෙල්ලම් බත් උයා අපට බෙදා දුන් අපූරුව මගේ මතකයට නැගෙයි.
මදාරා අතවූ මැටි වළං කිහිපය ඒවා නිර්මාණකරණයෙහි ලා අති දක්‌ෂයකු විසින් නිම වන්නට ඇත. මගේ කුඩා අවධිය ද මෙවැනිවූ අපූරු නිමැවුම්කරුවන් සමූහයක් අතරේ ගෙවී ගිය අයුරු මගේ මතකයට නැගෙන්නේය. දශක කිහිපයක් ඉකුත්ව ගියත්, ඒ එකිනෙක සිදුවීම් පෙළ ගැසෙමින් සිතට දුක මිශ්‍රිත සතුටක් ළඟාවෙයි. වඩා විශේෂිත වූ චරිතයක් කෙරේ මගේ සිත ආශක්‌තව පැවතීම සිතට සතුට ළඟා කළත්, කාලය ගෙවීගොස් ඒ සියල්ලන්ගෙන්ම ඈත් වීමට සිදුවීම සිතට දුකක්‌ම දනවයි.
එවකට මට අවුරුදු හයක් හෝ හතක් වන්නට ඇත. දකුණතෙහි මාපටඇඟිල්ල මුවෙහි රුවාගෙන මොනයම් දෙයක් හෝ කෙරෙහි අවධානය යොමු කිරීම මගේ පුරුද්දක් විය. මෙය නොඉවසූ මගේ මෑණියන් එය වළක්‌වන්නට කෙතරම් උත්සාහයක් ගත්තේද යන්න සිහිවන විට මට ඉබේම සිනහ පහළ වෙයි. අප නිවසට යාබද නිවසේ වූ පුද්ගලයන්ගේ හැසිරීම් රටා මා ඇඟිල්ල මුවෙහි රුවාගත් කුඩා පර්යේෂකයකු බවට පත් කළේය. ඔවුන්ගේ ඒ හැසිරීම් රටාවන් සියුම්ව වින්දනය කිරීමට මම පුරුද්දක් කොට ගත්තෙමි.
ඇත්තෙන්ම එය නිවසක් පමණක් නොව ව්‍යාපාරික ස්‌ථානයකි. මැටි වළං හැදීම ජීවනෝපාය කරගත් මේ නිවසේ හෙවත් අපගේ වචනවලින් පවසනවා නම් "වළං පෝරණේ" දිගු, පළලින් අඩු ගොඩනැඟිල්ලක් විය.
නිවසේ ඉදිරිපස කෙටි බිත්තියක් වූ අතර කුඩා කාමර දෙකක් හැරුණු කොට ඉතා දිගු ශාලාවකින් මෙය සමන්විත විය. වහළ පොල් අතුවලින් ආවරණය කොට බිත්ති උණ ලීයට මැටි ගසා නිමවා තිබුණි. බිම අතුරා තිබුණේ ගොම මැටිය. වළං පුළුස්‌සන පෝරණුව වූයේ නිවසට තරමක් දුරිනි.
දිගු ශාලාව පසෙක වළං අතුරා තිබුණේ වළඳේ ආරක්‌ෂාව සඳහා පිදුරු තට්‌ටුව බැගින් යොදමිනි. පසෙක වූයේ අඩක් සාදා නිම කළ වළංය.
ශාලාවේ කොනක පිහිටා තිබූ සකපෝරුවේ නිතරම පාහේ දෙදෙනකු වාඩිගෙන වළං සාදමින් සිටීම සුලබ දසුනක් විය. බොහෝ විට මෙහි වූයේ පරමනාදන් හා ඔහුගේ පුතු නාගලිංගම්ය. පරමනාදන්ගේ දෙවැනි විවාහයේ බිරිඳ වන පාර්වතී හා ඇගේ දියණියන් වන මනෝරාණි හා පුෂ්පරාණි ද මෙය ක්‍රියා කරවීමට හොඳින්ම දන්නා බව පෙනුණි. ඔවුන්ගේ ජීවිතය කෙතරම් දුෂ්කර වීදයත් සෙල්ලම් වයසේ පසුවූ ඔවුන් ජීවත් වීමේ අරගලයට මුහුණ දුන්නා විනා කිසි දිනෙක සෙල්ලම් කරනු දැක නැත්තෙමි. සිය පියාගේ පළමු විවාහයේ පුතුවන නාගලිංගම් හා ඔවුන් දෙදෙනා අතරත් එතරම් සම්බන්ධයක් තිබුණු බවක්‌ද පෙනෙන්නට නොවීය.
පාසල හමාරකොට නිවසට පැමිණි පසු මගේ කාලයෙන් වැඩි ප්‍රමාණයක් වැය වන්නේ මොවුන්ගේ ජීවන චර්යාවන් සුපරික්‍ෂාකාරීව විඳින්නටය. අපගේ නිවස ඉදිරිපිට තරමක චෙරි ගසක් විය. ගස මුදුනට නැග චෙරිවල රස විඳින්නටත්, ඔවුන්ගේ නිවස දෙස බලා ඉන්නටත් මම පුරුදු වී සිටියෙමි. මනෝරාණිත්, පුෂ්පරාණිත් ගස දෙස බලන්නේ චෙරි ගෙඩි නිසාවෙන් ද නැතහොත් රිළා පැටවෙකු ලීලාවෙන් තමන් දෙස බලා සිටින මා නිසාද කියා නොදත්තෙමි. නමුත් මා ඔවුන් දෙසට දමා ගසන චෙරි ගෙඩි ඇහිලීමට වත් උත්සුක නොවී තමන් කරන කාර්යයෙහි වැඩිදුරටත් නියැළීමට ඔවුහු වග බලා ගත්හ.
මා ප්‍රිය කළ විශේෂිතම චරිතය වූයේ නාගලිංගම්ය. ඔහු මට වඩා අවුරුදු දොළහක්‌වත් වැඩිමල් වන්නට ඇත. මව මියගිය බැවින් පියාගේ දෙවැනි විවාහයේ බිරිඳ හා දරුවන් සමග නාගලිංගම් ජීවත් වූයේය. මට වඩා වයසින් වැඩිවූ මනෝරාණිත්, පුෂ්පරාණිත් මනා පෙනුමැති ගැහැනු දරුවන් වූ අතර නාගලිංගම් කළු පැහැති මන්දබුද්ධික පෙනුමැති තරුණයකු විය. අඩි තුනක් පමණ උස්‌වූ ඔහු කොණ්‌ඩය කොටට කපා තිබුණේද නැතහොත් මඳ කෙස් සහිත හිසකින් යුක්‌ත වූයේද යන්න මට පැහැදිලි නොවීය. උඩු කය කිසි විටෙක ආවරණය නොකළ හේ, දණහිසින් මඳක් පහළට වූ කිලිටි වේට්‌ටියකින් යටි කය ආවරණය කොට කහ පැහැති නූලක් ගෙල පැළඳ සිටියේය.
නිශ්ශබ්ද චරිතයක් වූ ඔහු මා හා කිසි දිනෙක දොඩා නැති මුත් ඔහු කෙරේ මා තුළ වූ බැඳීම කුමක් නිසා ඇති වූවක්‌ද යන්න මට ම තේරුම් ගත නොහැකි විය. මා ඔහු දෙස බලා සිටින හැම මොහොතකම කට කොනකින් සිනහ වී තම කාර්යයෙහි යෙදීම ඔහුගේ සිරිත විය. එක්‌කෝ මා ඔහු කෙරේ උනන්දුවක් දක්‌වන බව ඔහු දැන සිටියා විය යුතුය. නැතහොත් නිතර තමා දෙස බලා සිටින මේ කුඩා කොලු ගැටයාව මායිම් නොකළා විය යුතුය.
නිවස තුළ වූ බොහොමයක් දෛනික කටයුතුවලට නාගලිංගම් නැතිවම බැරි විය. පාර්වතීගෙන් ඔහුට සුළු සුළු වෙනස්‌කම් සිදු වන බවට ආරංචි පැතිර ගියද කිසි දිනෙක ඔහු තුළින් සතුටක් හෝ දුකක් පෙනෙන්නට නොවීය. ඒ මන්දයත් යම් දෙයක් ගැන සිතීමට පවා ඔහුට කාලයක් නොවීමය. නිවැසියන් ඔහුව ආදරයෙන් අමතනු කිසි දිනෙක මට ඇසී නැත.
වළං සෑදීම සඳහා දිනකට අවශ්‍ය මැටි ප්‍රමාණය හිසින් ගෙන එන්නේ ඔහු විසිනි.
මේ කොලූට වෙන වැඩක් නැද්ද මන්දා වළං පෝරණේ දිහාම බලාන ඉන්නේ..." මවගේ කෑගැසීම අසා මා නිවසට ඇතුළු වන්නේ අකමැත්තෙනි.
"ගනිං අතට පොත් ටික. උඹට ගෙදර වැඩදීලා නැද්ද?"
"මම ඒවා ඉවර කළේ ඊයේමයි අම්මේ..."
"එහෙනං මයෙ පුතේ... උඹට බැරිද මිදුල අතුගාන්න...."
මිදුල අතුගෑමට මම ඉතා කැමැත්තෙමි. ඒ මන්දයත් නාගාගේ නිවස මිදුලට හොඳින්ම දර්ශනය වන බැවිනි.
වරින් වර මිදුලට පැමිණෙන පාර්වතී ගෙයි පිටුපසින් වතුර කොරහක් හිස් කරයි. පරමනාදන් හා නගා සකපෝරුවේය.
"අම්මේ..."
"ඇයි බං"
"වළං පෝරණේට ගිහින් එන්නම්"
"හිටහං උඹට වළං පෝරණේම ඉන්න ඕනෑ නම් මං තාත්තාට කියලා උඹව පරමානන්දටම බාර දෙන්නං. එතකොට උඹට වළං හද හදාම උන්නෑකි..."
කුරුල්ලා මිටෙන් හැරියාක් මෙන් මම දිව යන්නෙමි.
"ආ පුංචි මාතියා ආවාද" පරමනාදන් හා මනෝරාණි සකපෝරුවේය. නාගලිංගම් යමකින් වළඳකට තට්‌ටු කරයි.
"අඩා..." පරමනාදන් විටෙක ඔහුට යමක් පවරයි. මේ සියල්ල අතරතුර නාගා නිහඬය.
"පාර්වතී මේ චූටි මාතියාට කැටයක් දීපං"
මා තෑගි ලබන විට නාගා කට කොනකින් සිනහ වී එය අනුමත කළාක් මෙන් මා දෙස බලයි. ප්‍රීතියෙන් ඉපිල යන මම ඔහුට පිළිතුරු සිනාවකින් සංග්‍රහ කරමි.
"අඩා නාගා... සාපඩුංග"
පාර්වතී ඔවුනට කෑමට කැඳවන තෙක් මම එහි රැඳෙන්නෙමි.
ඉරිදා හවස් ජාමයට වළං පෝරණය කලබලකාරීය. එහි පැමිණෙන බක්‌කි කරත්තයට සීරුවෙන් වළං සියල්ල පටවා අතමිට සරු කර ගන්නා බැවිනි. රා වඩියකින් සප්පායම් වී ගීයක් ගයන පරමනාදන්ද සුවඳ විහිදුවමින් ආහාර පිසින පාර්වතී ද මට හුරුපුරුදු දසුන්ය. එහෙත් නාගා නිහඬවම බුලත් විට සපමින් පසෙකට වී හිඳී.
මේ සියල්ල නිරීක්‍ෂණය කරමින් සෙල්ලමට ඇබ්බැහි නොවී මා ගෙවූ ජීවිතය නිසා කුඩා ළමුන් අතර මා විශේෂිත චරිතයක් විය. නිහඬ දරුවෙකු වූ මගේ සිත අහිංසකයකු වූ නාගා කෙරේÊ ඇද බැඳ තැබුණේද මේ සමානකම නිසා වන්නට ඇත.
එක් තෛපොන්ගල් දිනක බිම්කරුවල වැටීගෙන එද්දී වළං පෝරණය දෙසින් කෑගසන හඬක් ඇසෙන්නට විය. එදිනට ඔවුන් මිදුලේ අඳින කලාත්මක රූ රටා බැලීමට මම පුල පුලා සිටියෙමි.
"අයියෝ මාතිය... මාතියා..."
"මේ ඇහුණද? වළං පෝරණේ පැත්තෙන් කෑගහනව, පරමනාදන් වගේ ගොහින් බැලුවා නං"
අම්මා ඒ දෙසට පිටත් කළ තාත්තා ආපසු පැමිණියේ පැයකට පමණ පසුවය. ශබ්දය අඩු වූයේ වාහනයක් පිටත්ව ගිය පසුවයි.
"ඌට මීමැස්‌මොරේ වගේ ලෙඩක් තියෙනවලු. කවදාවත් හරියට බෙහෙතක් බීලා නෑ වගේ. ඊයෙයි පෙරේදායි නිදි මරලා තියෙනවා වළං පුච්චන්න."
"පවු අහිසංකයා. පාර්වතී... උගෙන් වැඩ ගත්තා මිසක ඌ ගැන බලලා නෑ වගේ...."
රෝගියා අනිවාර්යයෙන්ම නාගලිංගම් විය යුතුය. පසුවදා මට පාසලට යෑමට හිත දුන්නේ නැත...
"මොකද කල්පනා කර කර ඉන්නේ... ඉක්‌මනට ඇඳ ගනිං තාත්තා විස්‌තර බලාන එයි. "
මේ අයුරින් දින කීපයක්‌ම ගෙවී ගියේය. ඇස ගැටෙන මානයේ නාගාගේ රුව දකින්න නැත. වළං පෝරණුවේ ක්‍රියාශීලීත්වය නැතිව ගියේය. සකපෝරුවට නිවාඩු ලැබී තිබේ. පාර්වතී හා දියණියෝ දිනකට දෙවරක්‌ම රෝහලට යති. පරමානන්ද දකින්නේ කලාතුරකිනි. ඒ කම්මුලෙහි අත තබාගෙන කල්පනාවේ ගැලී සිටින අන්දමය. මමද රිදුණු සිතින්ද හිස් බැල්මෙන්ද ඒ දෙස බලා සිටිමි. තාත්තා කීප විටක්‌ම පරමනාදන් අත මුදලක් තැබීය.
මහා විලාපයක් අසුණේය. "නාගා මැරිලාලු..." ගමේ මිනිස්‌සු ඒ දෙසට දිව ගියහ. ගෙදර ඇත්තෝ විලාප දෙති. මගේ දෙනෙතින්ද නොකඩවා කඳුළු ගැලීය. යළි කිසිදු දිනෙක මගේ නිහඬ මිත්‍රයා දකින්නට නොලැබෙනු ඇත.
පොඩි එකාට දුක ඇති... "
අම්මා තාත්තා හා සෙමෙන් දොඩන්නීය. එදින සවස් යාමයේ නිවසට ගෙනා මෘත ශරීරය බලන්නට ලැබුණේ නෑවීමෙන් පසුවය. නාගාගේ ඉලව් ගෙදර යන්නට මට සිත් දුන්නේ නැත. අම්මා මට එහි යන්නට යැයි කීවේද නැත. පෙට්‌ටියකට වී උඩුකුරුව සයනය කරන ඔහු දෙස මට බැලිය නොහැක.
පසුදින මම පාසල් නොගියෙමි. අම්මාගෙන්ද බලපෑමක් නොවීය. දවල් ඇසුණ මළබෙර ශබ්දයට පමණක් මම පිටතට ගියෙමි. කිහිප දෙනෙක් එකතුව පෙට්‌ටිය ඔසවා ගෙන ගියෝය. ගෙදර ඇත්තෝ හඬමින් පසුපස ගියහ. මම හිස් බැල්මෙන් ඒදෙස බලා උන්නෙමි.
"නාගාගේ අම්මා උන්නා නම් ඌට ඔහොම වෙන එකක් නෑ..."
අම්මා මළේ උගේම කරුමෙට අම්මා විස්‌සෝප වන්නීය. පසුවදා පාසලට ගියත්, ලියන්නට අකුරුත් කියන්නට වචනත් මට සිහියට නැගුණේ නැත. ලෝකයම මියගොසින් යැයි මට හැඟුණේ එය තවත් එක් මළගෙදරකැයි අමතක කළ නොහැකි මාගේ "නිහඬ මිත්‍රයාගේ" මළගෙදර වූ නිසාවෙනි.
විටෙක ඔහුගේ හැඟීම්වලින් තොර මුහුණත්, විටෙක කට කොනකට නැගුණු සිනහවත් මා මතකයට නඟන්නට උත්සාහ කළෙමි. ඒ මතකය යළි යළිදු මා සිත පෙළීය. කාලයත් සමග ඔහු පිළිබඳව සියල්ලන්ටම අමතක වෙනු ඇත.
දැනුදු ඉඳහිට ගමට ගිය විට වළං පෝරණය තිබූ ස්‌ථානය දෙස මට ඉබේටම බැලෙයි. එහි වෙනත් ගෙයක් ඉදිවී තිබුණි. වළං පෝරණේ විසූ පුද්ගලයන් ගම හැරදා ගොස් බොහෝ කල් බව නංගී කියන්නීය. නාගා මියගියදා පටන් ඔවුනට වගතුවක් නොවූ බව අම්මා කියන්නීය. පරමනාදන් හා පාර්වතී නම් දැනට ජීවතුන් අතර සිටීදැයි සැක සහිතය. මනෝරාණිත්, පුෂ්පරාණත් දීග තලයන්නට ඇත. විටෙක ඔවුන් පිළිබඳ තොරතුරු සොයා බැලීමේ ආශාවක් මසිත තුළ උපදී.
නාගා පිළිබඳ මතකය මගේ සිතින් නම් කිසිදු බැහැර නොයයි. ඒ මන්දයත් මාගේ කුඩා අවධිය පිළිබඳ මිහිරි අමිහිරි මතකයන් සියල්ලටම මුල්වූ සුවිශේෂී පුද්ගලයා ඔහුම වූ බැවිනි.
"තාත්තේ... ආ සෙල්ලම් බත්" සිඟිති දියණියගේ හඬින් පියවි ලොවට පිළින් මම මැටි බඳුන අතට ගෙන ඇයව සෙනෙහසින් සිප ගතිමි.
ඉදිරියට බර ව හිස බිමට නමාගෙන පඩි පෙළේ ඉහළට ගමන් කළ ඔහු සරම කකුලට පෑගේදෝ යන සැකයෙන් පඩි පෙළ නැග්ගේ සරොම් පට වමතින් ඔසවා ගෙන ය. මුදලාලි ජාතික බැනියම ද, සුදු සරම ද ඇන්දේ කාලයකට පසුව ය. ඔහුගේ මතකයේ හැටියට ලොකු දුව දීග දෙන දා ජාතික බැනියම ඇන්දාට පසු නැවත එය ඇන්දේ අද ය.
වෙහෙර මළුව හරහා වැඩම කළ ලොකු හාමුදුරුවෝ මුදලාලි වෙත මඳ සිනාවක් පෑවෝ ය.
“මුදලාලි අද සිල් ගන්න වගෙයි. බොහොම හොඳයි. බොහොම හොඳයි. පරලොවටත් යමක් කර ගන්න එපායැ. ජීවිතේ අවබෝධ වෙන කොට ඔහොම තමයි.”
තමා සිල් ගන්නට පැමිණියේ ජීවිතය අවබෝධ වීමෙන්වත්, අවබෝධ කර ගැනීමටවත් නොවන බැව් මුදලාලි දනී. ඒ නිසා ම ඔහුගේ යටි සිතට සිනහවක් නැගුණි. අද සිල් ගැනීමට සූදානම් වූයේ ලොකු දුවගේ උවමනාවට මිස තමාගේ උවමනාවට නොවන බව මුදලාලිට සිහිපත් විය. ධර්ම ශාලාවේ එක් තැනක හෝරා කීපයක් එකම ඉරියව්වෙන් වාඩි වී සිටීම ඔහුගේ හිතට රුස්සන්නක් නොවී ය.
එරමිණිය ගොතාගෙන සිටි මුදලාලිගේ දෙපා ඇදුම් දෙන්නට විය. අනෙක් සිල් ඇත්තන් වසරකට කීප වරක් සිල් ගැනීමට පැමිණ ඇති කර ගත් හික්මීමත්, සන්සුන්කමත් අප්පුසිඤ්ඤෝ මුදලාලි තුළ තිබුණේ ම නැත. කකුල් කකියන්නටත් සෘජුව තබාගත් කොන්ද ඇදුම් දෙන්නටත් වූ විට ඔහුගේ සිත තුළ ලොකු දූ කෙරෙහි කෝපයක් ද හට ගත්තේ ය.
දවල් දානය සඳහා තම නිවසට ම යා යුතු යැයි මුදලාලි කල්පනා කළේ ය. එසේ ගියහොත් මඳ වේලාවක් නිවී සැනහිල්ලේ දිග ඇදී ඉන්නට ද හැකි බැව් ඔහුට සිහිවිය.
සෑම දිනක ම උම්බලකඩ යහමින් යෙදූ ලුණු මිරිසක් මුදලාලිගේ කෑම පිඟානට අනිවාර්යයෙන් ම එක් විය. පන්සලේ සිට ආපසු නිවසට එන මුදලාලිට උකුවට සෑදූ කිරි හොද්දේ සුවඳ සහ ලුණු මිරිසේ රසය ද දැනෙන්නට විය.
සියලුම සිල් ඇත්තන් පාර දිගේ ගොස් තම නිවෙස්වලට යන්නට ගිය නමුත්, අප්පුසිඤ්ඤෝ මුදලාලි ගාළු පාර පැන වෙරළ දිගේ නිවස බලා යන්නට ගියේ ය. වෙරළට පැමිණි ඔහුට සුව පහසුවක් සහ නිදහසක් දැනුණි. ලුණු රස මුසු වුණු සුළඟ ඔහුගේ සිතට ගෙන දුන්නේ ප්‍රබෝධයකි.
කැරෑව පසු කළ මුදලාලිට රේගුවේ පැරණි ගොඩනැගිල්ලත් ඒ සමඟ ම මුහුදට විහිදෙන මැද්දේ ගලත් හොඳින් පෙනුණි. ඇහි බැමි වලට ඉහළින් නළල මත වම් අත තැබූ ඔහු මැද්දේ ගල දෙස බැලුවේ ය. අවුරුදු විස්සකට තිහකට පෙර මැද්දේ ගලට ළං ළං ව වරායේ නවතා තිබූ රුවල් නැව් මුදලාලිගේ හිතට නැගුණි. ඉන්දියාවේ සිට ඒවායින් ගෙනා ජාඩි පීප්ප සහ රට උළු ගබඩා කොට තැබුවේ පැරණි රේගු ගොඩනැගිල්ලේ ය. දැන් ඒ දිනවල මෙන් කටට රහට ජාඩි ටිකක් කන්නට කොයින්දැ යි මුදලාලි කල්පනා කළේ ය.
ඔහු ගමන් කළේ පන්සලේ දී අත් දණ්ඬේ දමාගෙන තිබූ පත්කඩයත්, උතුරු සළුවත් දෙක ම කරේ දමාගෙන ය. කැරෑව පසු කළ මුදලාලි කටේ තිබූ බුලත් හපය වම් අල්ලට ගෙන මුහුදට විසි කළේ ය. ඉන් පසු සරම මඳක් අත් කරගෙන පහතට නැමී අතට ගත් මුහුදු වතුරෙන් කට සේදුවේ ය. මුහුදු වතුරෙන් කට සේදූ ඔහුට ප්රෙණීත බවක් දැනුණි. ලුණු ගතිය පහ වෙන්නට කාරා කෙළ ගැසූ මුදලාලි වෙරළෙන් ගොඩ වී ගමන් කළේ නිවස දෙසට ය.
“අපි හිතා හිටියෙ උපාසක ඇත්තොත් එක්ක පාරෙන් ම ඒවි කියල.” මුදලාලිගේ බිරිඳ නෝනබබා කුස්සිය පැත්තෙන් එබිකම් කොට පැවසුවා ය.
“ඉස්සරහ පැත්තෙන්ම ආවනං තාත්තේ.”
එසේ කීවේ ලොකු දුව සැලී ය.
සැලී දීග දුන්නේ ගන්දර මාළු මුදලාලි කෙනෙකුට ය. ඔහු කළේ මාළු අයිස් දමා පිට පළාත් වලට රේල්ලුවෙන් සහ ලොරිවලින් යැවීම ය. කලක සිට සැලීගේ නැන්දම්මාත් මාමණ්ඩීත් සෑම පෝයකට ම සිල් ගැනීම සිරිතක් කරගෙන තිබුණි. අප්පුසිඤ්ඤෝ මුදලාලිත්, නෝනබබාත් සිල් නොගැනීම පිළිබඳ ව ගන්දර ගෙදර දී සාකච්ඡාවට භාජනය විය. එය සැලීට තරමක මදිකමක් වී තිබුණි. ඒ නිසා ම පෝයට දින දෙකකට කලින් කුමාරකන්දේ මහ ගෙදරට පැමිණි සැලී තාත්තාත් අම්මාත් සිල් සමාදන් වීමට යැවීම සඳහා කටයුතු සම්පාදනය කළා ය.
සතියකට කලින් සිල්වා දොස්තර මහතාගෙන කැරකිල්ලට බෙහෙත් ගැනීමට සැලීගේ මව ගිය විට දොස්තර මහතා ඇයට උපදෙස් දී තිබුණේ වෙහෙස මහන්සි නොවී විවේකීව කාලය ගතකරන ලෙස ය. එබැවින් මව සිල් සමාදන් වීමට යැවීමේ අදහස තාවකාලිකව නතර වුණි. තාත්තා සිල් ගැනීමට අකමැත්ත පළ කළ ද සැලීගේ බලවත් ඉල්ලීම නිසා අකමැත්තෙන් වුව ද ඊට එකඟ වීමට ඔහුට සිදු විය. මේ පිළිබඳ ව පන්සලේ ලොකු හාමුදුරුවන් සැලීට මුව නොසෑහෙන සේ ප්‍රශංසා කොට තිබුණි.
දවල් දානය ගත් අප්පුසිඤ්ඤෝ මුදලාලි බිම එළුෑ පැදුරක් මත දිග ඇදී සිටියේ ය. කාමරය තුළ වූ අධික රස්නය නිසා වෙරළ දිහාවට යා යුතු යයි මුදලාලිට සිතුණි. හාන්සි වී සිටීමෙන් ලිහුණු කුඩා කොණ්ඩ ගැටයේ කෙස් පිළිවෙලකට සැකසූ ඔහු නැවතත් කොණ්ඩ ගැටය බැඳගත්තේ ය. උතුරු සළුව සකසා ගත්තේ ය. පත්කඩය වමතෙහි දමා ගත්තේ ය. නෝනබබා කොටා දුන් බුලත් විට කටට හලා ගත් මුදලාලි ටික වේලාවකින් ආපසු එන අදහස ඇතිව වෙරළ දෙසට ගමන් කරන්නට විය.
ඇඟේ දහඩිය ගතිය වෙරළට ගිය සැනින් වියැළුණි. ඔහු කැරෑවේ බැලුම්ගලට ඉහළින් මුහුද දෙස බැලුවේ ය. මධ්ය හ්නය හෙයින් ඒ දෙස බැලූ ඔහුගේ දෑස් නිලංකාර විය. දිය කඳට වැටී සලිත වන සැඩ හිරු රැස් වලින් දෙඇසට ගෙන දුන්නේ පීඩාවකි. දෙබැමට ඉහළින් නළල මත අත තබා විපරමින් මුහුද දෙස බැලුවේ එහෙයිනි.
අප්පුසිඤ්ඤෝ මුදලාලිට තමා සිල් ගත් බැව් මොහොතකට අමතක විය. සියල්ල අමතක වූ ඔහු දැන් සිටින්නේ කැරෑවේ බැලුම්ගල මත ය. අද සිල් නොගත්තේ නම් කොතරම් අපූරුදැයි ඔහුට සිතුණි. හොඳ විමසිල්ලෙන් බැලූ මුදලාලිට මැද්දේගලටත්, බැලුම්ගලටත් අතර දියඹට වන්නට විශාල පදාසයක් වසාගත් තද නිල් පැහැයක් පෙනුණි.
නිසැකව ම ඒ මාලු අයිනක් බව මුදලාලි දනී. නමුත් මේ සිල් රෙද්දක් පටලවාගෙන කටක් ඇර වෙන කෙනෙකුට මෙය දැනුම් දෙන්නේ කෙසේදැ යි මුදලාලි ලතැවුණේ ය. බිමට හැරුණු හිසින් යුතුව බැලුම්ගලින් බිමට බට ඔහු වෙරළට ගොඩ වුණේ කලකිරීමකට ළං වුණු හැඟීමෙන් යුතුව ය.
“වාරකන් කාලෙට කරන්න දෙයක් නැතුව ලතැවෙනව. ඒ කාලෙට සිල් ගන්න කියන්න ආව නම් මක් වෙනව ද?”
ලොකු දුව සැලී පිළිබඳ නොරිස්සුම් ස්වභාවයක් අප්පුසිඤ්ඤෝ මුදලාලිගේ හිතේ නලියන්නට විය. තව මොහොතකින් මාළු අයින වෙන දිහාවකට යන්නට බැරි නැත. වෙරළේ පේන තෙක් මානයක කිසිවෙකු ද නොවී ය.
මුදලාලි උතුරු සළුව වැටකෙයියා ගසක රැඳෙව්වේ ය. කිසිවක් නොදන්නාක් මෙන් නිවසට ගොඩ වැදී පන්සලට යාමට සූදානම් වුණි. මද්දුම පුතාට කතා කළ හේ වැටකෙයියාවේ දමා ආ උතුරු සළුව ගෙන එන්නට කීවේ ය.
පුතා ගොස් මඳ වේලාවකින් වෙරළ දෙසින් හූ හඬ නැගෙන්නට විය. උතුරු සළුව රැගෙන ඒමට ගිය මද්දුම පුතා හූ හඬ තැබූවේ අනෙක් හවුල්කාරයින් ද වෙරළට කැඳවීමේ අදහසිනි. උතුරු සළුව කොලුවකු අතේ තාත්තාට යැවූ මද්දුම පුතා මාදැල් ඔරුවේ නැගී දැල වටකරන්නට ගියේ ය. මුදලාලි ආපසු පන්සලට ගියේ ගාලු පාර දිගේ ය.
“හුරුල්ලෝ විසි තිස් දාහක් මාළු ඉන්න ඇති. මද්දුමය දක්සය. සේරම ටික කොටු කර ගනීවි.”
ගල් පඩි නැග වෙහෙර මලුවට පිවිසෙත් ම මුදලාලිගේ සිතේ සියුම් සතුටක් මෝදු වෙමින් තිබුණි.
‘‘බඩු මදි. තව ඕන ආරි අයියා’’මොහොමඩ් ප‍්‍රතිඋත්තර බැන්ඳේ පිටුපස පලංචි කොටයේ වාඩිවී. පුවක් කණුවට වැලමිට හිර කරමින්ය.
‘‘ඒයි ඇන්ටොන් ඔතනින් බඩු එන්නේ,…. එනකොටම උඩට එවපං’’ මොහොමඩ් පහළ කොටසේ වැඩ කරන ඇන්ටන්ට එසේ කීවේ කෙළ පහරක් බිමට පතිත කරමිනි. බොරැුල්ල නගරයේ වෙළඳුන්ගේ සංගමය මගින් මෙවර ඉදිකරන මහා තොරණ් රාජයාගේ පුවක් කණු සිටවීම, සැකිල්ල හැදීම, පින්තූර රාමු සවිකිරීම ආදියේ කොන්ත‍්‍රාත්තුව බාරගත්තේ ආරියපාල අයියාය. ආරියපාල අයියාට මොහොමඩ් මුණ ගැසුනේ මීට වසර කීපයකට පෙර නිර්මාණය කරන ලද පිටකොටුවේ තොරණ නිසාය. ආරියපාල අයියා එදා තොරණේ උඩ වැඩ කළේය. පහළ සිට අත් උදව් දුන් අය අතර මොහොමඩ් ද සිටියේය. ආරියපාල අයියා එදා පිටකොටුවේ බක්කි සේවකයෙකු ලෙස වැඩ කළ නිසා තොරණට සම්මාදම් විය. මොහොමඩ් ද අහම්බෙන් එතනට වැටුනේ පිටකොටුවේ කුලී වැඩ කරපු නිසාය. ස්වේච්චාවෙන් සේවය කළ මිතුරු කැලේ සිටි ආරියපාල අද මොහොමඩ්ගේ මිතුරෙකු වී ඇත. එසේ මුණ ගැසුණු ආරියපාල අයියා අද තොරණ සවිකිරීමේ කොන්ත‍්‍රාත් බාරගෙන වෙසක් කාලයට පමණක් කොන්ත‍්‍රාත්කරුවෙකු වී ඇති අතර තොරණවල පළපුරුද්දක් ලබා ඇති මොහොමඩ්ව එයට සම්බන්ධ කර ගන්නේ දැඩි කැමැත්තෙනි. අනෙක් කාලවලදී ගොඩනැඟිලිවලට මේසන් බාස් වරුන්ගේ අත් උදව්කරුවෙකු ලෙස සේවය කරන මොහොමඩ් වෙසක් කාලයට අත් උදව් දෙන්නේ තොරණවලටය. තමාද ආරියපාල අයියා දන්නා හඳුනන අය සහභාගි කරවාගෙන තොරණ ඉදිකරන මොහොමඩ්ට අන් අයට වඩා තරමක් වැඩිපුර මුදලක් අතට ලැබෙන්නේ ආරියපාල අයියාගේ මිත‍්‍රත්වය නිසාය.
පුවක් පටි සහ ලණු රෝල් උඩට එන තුරු සැකිල්ල මුදුනේ සිට මොහොමඩ් බොරැල්ල හංදිය දෙස නෙත් යොමු කළේ ඒ ඉසඹුවෙන් මඳ විවේකයක් ගන්නටය.
උදයේ වැස්සක් වැටී අහස දැන් කිරිපාට වී ඇත. එහෙත් පුවක් කඳන්වල තෙත ගතිය තවම වියළිී ගොස් නැත. හවස් යාමයේ පායා ඇති චණ්ඩ හිරු රශ්මිය තවමත් මොහොමඞ්ලාගේ ඇඟට වද දෙන්නෙ දැන් ඇති බිමට බැහැපන් කියන්නාක් මෙනි. රාජකාරිය නිමවී නිවෙස් වලට යන මිනි ස්සු බොරැල්ල නැවතුම් පොළේ පෝලිම් ගැසී තෙරපෙති. පදික වීදිය පුරා අටවා ඇති වෙළඳ කුටි වලට මිනිසුන් රිංගන්නේ දැන් ය. වාසනාව විකුණන්නන්ගේ මයික‍්‍රපෝන් හඬ මොහොමඞ්ට ඇසෙන්නේ නටන වතුර කේතලයකින් පිටවන කෙඳිරිලි හඬක් සේය. දහවල් කාලයේ පාළුවට ගොස් තිබූ බොරැල්ලේ සුපර් මාර්කට් බිල්ඩිම තුළට මිනිසුන් එකා දෙන්නා ඇදෙන හැටි මොහොමඩ්ට හොඳින් පෙනෙයි. තොරණේ උඩ සිට ඈතට පෙනෙන කොටුවේ උස් ගොඩනැගිලිි ටික දකින විට මොහොමඩ්ගේ හිතට දැනෙන්නේ අමුතු ගාම්භීරත්වයකි. ඒ ඔහු උස ගොඩනැගිලිවල බොහෝ වේලාවට අත් උදව් කරුවෙකු ලෙස වැඩ කර ඇති නිසාය.
‘‘ඒවා අපි හදපු බිල්ඩින්’’ඔහු වත්තට ගොස් තම හැකියාව කියාපාන්නේ ඒ ලෙසය. බොරැල්ලේ තොරණ ද මොහොමඩ්ලා ගේ දෑතින් ඉදිවෙන බව වත්තේ බොහෝ දෙනෙක් දන්නේ මොහොමඩ් නිසා මය. උඩ වැඩ කරන බොහෝ වේලාවට පහළට කුඩාවට පෙනෙන මිනිසුන් දකින විට මොහොමඩ්ට මතක් වෙන්නේ මහගිරිදඹ ය. ජීවිතයේ එකම එක වතාවක් සිරීපාද වන්දනාවේ ගියේ වත්තේ අල්පෝන්සෝ අයියා නඬේ ගුරා ලෙස සංවිධානය කළ වන්දනා ගමන නිසාය.
කාලයක් පෙරුම් පුරාගෙන සිටි මල්කාන්ති සමග ආදර බස් තෙපලන්නට හැකි වුනේ ද ඒ නිසාය. මල්කාන්ති ද වත්තේ එකියකි. මල්කාන්ති ගැන ආදර හිතක් පහළ වුව ද, වත්තේදී එය කියා ගන්නට තරම් ශක්තියක් තිබුණේ නැත. කටපුරා සිනාසෙමින් ‘‘ආ මොහොමඩ් අයියා කොහොමද ?’’කියා නිතරම අසන මල්කාන්තිගේ සිරියාවට ඔහු වශීිවී සිටියේය.
මල්කාන්ති මහගිරිදඹේ පඩි පෙළක පැටලී පය ලිස්සූ මොහොතේ ඇය වෙත පැන අතින් අල්ලා එය වැළැක්වූයේ මොහොමඩ්ය. රළුවූ අත්වලට ඇයගේ සිනිඳු කෝමල, සීතල අත්ල ගැටෙන විට ‘‘මම ඔයාට ආදරෙයි.’’ කියාගන්නට තරම් ධෛ්‍ර්යක් මොහොමඩ්ට උපන්නේය. ‘‘අපේ අම්මල කැමතිවෙන එකක් නැහැ අයියා’’ මල්කාන්ති කිව්වේ දුකෙනි. ‘‘අපි ඔක්කොම වත්තෙ උපන් එවුන්… මෙච්චර කල් එකට ජීවත්වුනේ….. ජාති ආගම් භේද බලලද නංගි’’?
මොහොමඩ් කිව්වේ සීතලෙන් වෙව්ලන දැත ඇය වෙත පිරිනමමින් ය. ‘‘මම මොහොමඩ් අයියට කැමතියි’’ ‘‘මොහොමඞ් ඔන්න බඩු ටික එනවෝ, අද රෑ වෙන්න ඉස්සෙල්ලා ඕක ඉවරයක් කරන්න ඕනෝ’’ ආරියපාල අයියාගේ භේෂාරවයෙන් පිටවූ අඬහැරින් තිගැස්සුණු මොහොමඩ්ගේ අතීතය බිඳී ගියේ ය. තවත් දෙදෙනෙකු සමග ඔහු පලංචියට පැන්නේ බුදුරැස් මාලා සැකිල්ල අහවරක් කරන්නට ය. බිම් කළුවර වැටෙන්නට දැන් ඇත්තේ සුළු වේලාවකි.
දැඩි අව් රශ්මියෙන් පීඩා විඳි මොහොමඩ්ලාගේ ඇඟට සිහිල් සුළඟ පතිත වෙන්නේ දැන්ය. අවරට යන හිරුගේ රැස්වලින් සෑදී ඇති තොරණේ සැකිල්ලේ සෙවනැල්ල දිගටි වී බොරැල්ල නගරයේ පතිත වී ඇත. ඒ තැන් තැන්වලින් මොහොමඩ්ලා ඇදවී දික්වී කෙට්ටු වූ යෝධයන් මෙන් පෙනෙයි. ‘‘ආරි අයියා වෙලාව කීයද?’’ කොල්ලෙක් අසයි.
‘‘ආ දැන් බැහැපල්ලා. හෙට උදේ ඉතුරු ටික බැඳලා පින්තූර හයිකරන්න පුළුවන්, හෙට දවල්ට පිංතූර ටික එයි.’’ සියල්ලෝම තම ගතමනාව ගෙන විසිර ගියේ හෙට එන බවට ආරි අයියාට පොරොන්දු වෙමිනි.
සිගරැට්ටුවක් උරමින් සිට එහි කොටය පැත්තට විසිකළ මොහොමඩ් ආරියපාල අයියාගෙන් ගතමනාව ගත්තේ විහිළුවක්ද කරමිනි. එතනින් ඉදිරියට ඇදී උපවංශ හෝටලයට ගොඩවුුණු මොහොමඩ් මාළුපාන් ගෙඩි දෙකක් ගිල දමා ප්ලේන්ටියක් බී, වේටර්ට කියා තවත් මාළුපාන් ගෙඩි කිහිපයක් සිලි සිලි බෑගයක දාගත්තේ ගෙදර ගෙනියන්නටය. කොහොමද අයියා තොරණේ වැඬේ නැගලා යනවද? වේටර් කොලූවා ඇසුවේ සිනා මුසු මුහුණෙනි.
‘‘ඔව් මල්ලී හෙට ඉවර කරනවා’’ මොහොමඩ් උත්තර දෙමින් මාළුපාන් මල්ල අතට ගත්තේය. එතනින් පාර පැන පොලිසිය ඉදිරියෙන් ගොස් එළවළු මාර්කට් එකට රිංගූ ඔහු හාල් කිලෝවක් සමග එළවළු ජාති දෙකක්ද මිලට ගත්තේ අතේ ඉතිරි මුදල් ගණන් කරමිනි.
‘‘මොකද මොහොමඩ් අද රෑ වෙලා… අපි මේ සුද්ද කරල යන්නයි හැදුවෙ’’ බක්කියේ සුදු අයියා අසන්නේ බඩු කිරන ගමන්ය.
‘‘දන්නැද්ද අයියා වැඬේ ඉවරයක් කරලා දාන්න එපායෑ’’ රුපියල් සියයේ කොල දෙකක් දික්කරමින් මොහොමඩ් කීවේය.
‘‘මේ පාර තොරණ හුඟක් උසයි නේද මල්ලී?’’ එහා බක්කියේ වයලට් අක්කා අසන්නේ බක්කිය හෝදන ගමන්ය.
‘‘මේ පාර එළකිරි වගේ නියමයි අක්කා….. අඩි එකසිය පනහක් විතර උසයි. ගෞතමදාස මාස්ටර් ද කොහෙද ආර්ට් පාර දාල තියෙන්නෙ’’…. මොහොමඩ් එතැනට පෙනෙන තොරණ් උඩ කොටස පෙන්වමින් කියයි.
‘‘මේ පාර උසම එක අපෙන් තමයි’’ මොහොමඩ් නැවත උත්තර බඳියි.
‘‘බුදු හාමුදුරුවෝ ඉඳගෙනද හිටගෙනද බං’’ වයලට් අක්කා කොඳුනාරටිය දිග අරිමින් දිගු හුස්මක් පිට කළාය.
‘‘අර බුදු රැස් මාලාව අතෙන්ට යන්නේ…. බුදුහාමුදුරුවෝ හිටගෙන’’ මොහොමඩ් බඩුමලූ ටික එල්ලාගෙන එළියට බැස්සේ ‘‘හෙට උදෙන්ම එන්න ඕනෙ සුදු අයියා’’ යැයි කියමිනි. එතැනින් ළමා රෝහල ඉදිරිපිට බස් නැවතුම වෙත ගිය මොහොමඩ් එකසිය හැට හතර හිඹුටාන බසයට ගොඩවූයේ සිනහවද කටේ පුරවාගෙන ය.
‘‘මාරයි බස් එකේ අද එච්චර සෙනඟ නැහැ’’ ඔහුට ඉබේටම කියවිණි. හිස් අසුනක වාඩි වූ ඔහු බඩු මලුදෙක කකුල් දෙකට සිරකර ගත්තේය.
‘‘මොකද මල්ලී අද බඩු අඩු’’ ඔහු කොන්දොස්තර වරයා ගෙන් ඇසුවේ සාමාන්‍යයෙන් මෙවැනි වෙලාවට එසේ නොවන නිසාය.
‘‘කොහෙද අපේම එකෙක් කපාගෙන ගියානෙ,’’
’’ගඳයා’’ කොන්දොස්තර කොල්ලා කීවේ මොහොමඩ් ඒ දේ කළා සේය.
‘‘කොහාටද?’’ ඔහුගේ මුහුණෙන් එතරම් පිරියක් නැත.
‘‘කොලොන්නාවේ තෙල් ටැංකිය ළඟට මල්ලී’’ මොහොමඩ් තවත් මුදල් කොළයක් දික් කළේය. බසයෙන් බැසගත් මොහොමඩ් මඩ කඩිති පිරි පාරේ එහාට මෙහාට පනිමින් මීතොටමුල්ල වත්ත දෙසට පියමැන්නේ ඔහුගේ වචන වලින් කියතොත් ඇඟ ටිකක් රත් කර ගැනීමටයි. ඔහු ඒ සඳහා කවදත් ගොඩවන්නේ ලයනල්ගේ පොට් එක වෙතය. නීතිගත හා නොවන ඕනම සුරාවක් ඔහු ළග ඇත්තේ ස්කාගාර සංස්ථාවක් බඳුවය. කිසිවෙකු බිය නැතිව පොට් එකට රිංගන්නේ පොලිසියේ මහත්තුරු එකා දෙන්නාද එතැනට රිංගන හෙයිනි. එතනින් හොර අරක්කු වීදුරුවක් කටේ හලාගත් මොහොමඩ් ලුණු කැටයක් හපමින් ගෙදරට පියමැන්නේ තරමක් වෙරි මතිනි. ලෑලි ගෙවල් පේළිිය දිගේ තම ගෙදරට රිංගූ මොහොමඩ් නන්දනී අක්කේ කියමින් බඩුමලු ටික බිම තැබීය.
නන්දනී අක්කා ගෙදර හිටියේ නැත. අංශභාග රෝගයෙන් ඔත්පලව ලෑලි ඇඳේ උඩුකුරුව නිසොල්මන්ව සිටින සමරෙ අයියා කඩා වැටුණු පිළිමයක් සේ ඔහු දෙස බලා සිටී. නැවතත් කුඩා උළුවස්සෙන් ඔළුව එළියට දැමූ මොහොමඩ් ගෙදර දෙසට දුව එන දරුවන් දිටීය. එයින් දරුවන් දෙදෙනෙක් නන්දනී අක්කාගේ වන අතර, දියණිය හිමිවන්නේ මොහොමඩ්ගේ ලෙයින් මල්කාන්තිට දාව උපන් දරුවෙක් ලෙසිනි.
‘‘මොහොමඩ් මාම දැන්ද ආවේ’’ පිරිමි දරුවන් දෙදෙනා දියණිය ද සමගින් ගෙට රිංගුවේය.
‘‘මෙන්න උඔලට මාළුපාන් ගෙනාවා ..... කාපල්ලා…….. අම්මටත් එකක් තියපං, උඔලගේ තාත්තටත් එකක් ඇති’’ වෙරිමත නිසා මොහොමඩ්ගේ මුවින් හරියට වචන පිටවෙන්නේ නැත. මාළුපාන් අතට ගත් තිදෙනා විමසන්නේ තොරණ ගැනය. ‘‘කවුද තාත්තෙ මෙදා පාර ලයිට්’’ දියණිය අසන්නේ මාළුපාන් ගෙඩිය මුවට ඔබමිනි.
‘‘ආරියදාස ලයිට් බං.’’
‘‘එහෙනම් මාමෙ නියෙමෙට ඇති’’ මොහොමඩ් හිස වනයි.
‘‘මොකක්ද මාමෙ මෙදා පාර ජාතක කථාව’’ තවත් දරුවකුඅසයි. ‘‘මං දන්නෑ මලිංගො’’ මොහොමඩ් ඇස් තරමක් පියවෙයි.
‘‘අයියෝ, තොරණ් මාම කිව්වට වැඩක් නැහැනේ’’ පොඩි එවුන් එසේ කී විටම බාගෙට වැසීගිය මොහොමඩ්ගේ ඇස් තරමක් ලොකුවිණි.
‘‘චුල්ලන් පද්මෙ ජාතකේද කොහෙද බං ’’
‘‘අනේ තාත්තේ මේ සැරේ අපි ඔක්කොම තොරණ් ටික බලමු’’ දියණියගේ කටට කැඩී ගිය මාළුපාන් ගෙඩියේ සිදුරෙන් අල කෑල්ලක් වැටෙන්නට ආසන්නය.
‘‘අනේ මාමේ ඒ කථාව කියන්නකෝ’’
‘‘මං දන්න පදුමයක් නැහැ බං, ආරි මාමගෙන් අහගෙන ඇවිල්ල කියල දෙන්නම්’’ මොහොමඩ් කීය.
මොහොමඩ් මේ වත්තට ආවේ ඉතා කුඩා කාලයේදීමය. පියෙකු නොමැතිව මව් හව්හරණයේ උස්මහත් වූ මොහොමඩ් පාසල් ගොස් ඇත්තේ හයේ පන්තියට යනතෙක් පමණි. සිංහල භාෂාවෙන් අධ්‍යාපනය ලද මොහොමඩ් ඒ කාලයේ පල්ලි ගොස් යාඥා කළහැටි තවමත් මතකයේ යන්තම්ව පවතී. එදාවේල සොයා ගනිමින් මව සමග ජීවිතය ගැටගසා ගත් මොහොමඩ්ගේ දිවියේ වෙනසක් ඇති වූයේ මල්කාන්ති සමග යුග දිවිය ඇරඹීමෙන් පසුවය. ඊට පසු ඔහු පල්ලි වෙනුවට මල්කාන්ති සමග පන්සල් ගියේය. කාලයක් සතුටින් සිටි ඔවුන්ගේ කැදැල්ලට දියණිය ලැබීමෙන් පසු ඇතිවූ අඟ හිඟ මැද, රණ්ඩු සරුවල් වී ජීවිතය දෙදරා යාමට පටන් ගත්තේය.
මොහොමඩ් ප‍්‍රථම ආදර ලෝකය එසේ දෙදෙරා ගියේ මොර සූරන වැස්සකට, ගහකට පාත්වුන හෙණයක් මෙනි. තමාට වඩා වැඩි මහළු නන්දනී අක්කාට මොහොමඩ් ලං වූයේ ඉන් පසුවය. අංශභාගෙ රෝගය වැළදී මොළය අප‍්‍රානික වූ නන්දනීගේ සැමියා සහ දරුවන් සමග මොහොමඩ්ගේ දියණියද අද වෙසෙන්නේ එකම නිවසේය. නන්දනී අක්කා සමග අහල පහල කවුරුන් හෝ රණ්ඩුවක් ඇතිවුන විට පිටවෙන කුණු කතාවක් මිසක්, මේ සම්බන්ධතාවය ගැන වත්තේ මිනිසුන්ටද ප‍්‍රශ්නයක් වී නැත.
"මාලිංගො පබා යනවෝ’’ කුසුමලතා අක්කාගේ පුතාගේ කටහඬ ඇසුනු දරුවෝ ‘‘මාමේ අපි පබා බලල එන්නම්..’’ කියා එළියට බැස දුවන්නට වූහ. මැද පෙරදිග කාලයක් ගතකළ කුසුමලතාගේ විශාල රූපවාහිනි තිරය නැරඹීමට අහල පහල කීප දෙනෙකුද එදෙසට දිව ගියෝය.
‘‘අනේ මල්ලියේ උඹ දැන්ද ආවේ…. මං මේ මනුස්සයගේ බේත් ටික ගන්න ගියා’’ නන්දනී අක්කා ගෙට ගොඩවුනේ හති අරිමිනි.
‘‘නැහැ දැන් ටිකක් වෙලා’’ පුටුවට ඇලවී ඔළුව ලෑලි පළුවට හේත්තු කර බාගෙට නිදියමින් මොහොමඩ් පිළිතුරු දෙයි.
‘‘කෝ මල්ලි ළමයි’’
‘‘උන් ගියා බබෝද මොකක්ද බලන්න… අන්න උඔට මාළුපාන් ගෙඩියක් ඇති.’’
‘‘මං ඉඳියාප්පන් ටිකක් ගෙනාව මල්ලියේ සමෙරෙ අයියට කවන්න’’ අනෙක් කාමරයට රිංගා ගත් නන්දනී ඇඳුම් මාරු කිරීමට පටන් ගත්තාය. කාමරයක් කිව්වද එකම ගෙයි එය වෙන්කර ඇත්තේ හරහට ලණුවක් ඇදි තිර රෙද්දකිනි. රෙද්ද මෑත්කර එයට රිංගූ මොහොමඩ් ගොස් ඇගේ බඳවටා අත යැවීය.
‘‘පිස්සුද බං මල්ලියේ, දහඩිය ගදේ බැහැ’’ එහෙත් මොහොමඩ්ගේ ආලවන්ත ග‍්‍රහණයෙන් ඇයට මිදීමට නොහැකිය.
‘‘දැන් පොඩි එවුන් ටික එයි මල්ලියේ’’ නන්දනී අක්කාගේ ස්වරය පහත්ය. මොහොමඩ් ඇය තව තවත් ළං කර ගත්තේය. විනාඩි කිහිපයක් ගෙවී ගියේය. හැට්ටය තදකර පැදුරෙන් නැගිට ගත් ඇය කොන්ඩය උඩට වෙන්නට ගෙඩියක් ලෙස බැඳ ගනිමින් දොර පළුව විවර කර ඇවිත් සමරෙ අයියා දෙස බලා සිටියේ දුකින් පිරි හදවතෙනි. ඔහු නිසොල්මන්ව තම අප‍්‍රානික සිරුර හා මනස සමගින් මළකඩ බැඳුණු තහඩු වහළය දෙස බලා සිටියේ දුකද කඳුලද නොහඳුනන නිසාය.
‘‘අනේ මල්ලියේ සමරෙ අයියව හෝදන්න ඕනෙ’’ නන්දනී අක්කාගේ අත්වාරුව ඇතිව සමරෙ අයියා දෝතට ගත් මොහොමඩ් සමරෙ අයියා මිදුලට ගෙන නන්දනී අක්කා ගෙනත් දුන් වතුර බාල්දියෙන් ඔහු නාවන්නට වූයේය. සමරෙ අයියාට සරමක් අන්දවා කබල් ලෑලි ඇඳ උඩ තැබූ මොහොමඩ් ඔහුගේ දෑතින්ම සමරෙ අයියාට කඩයප්පන් කැව්වේය. ඊළඟ දිනයේ හිරිමා උදයේ මොහොමඩ් තොරණ ලඟට යන විට කට්ටිය ලක ලෑස්ති වී සිටියේ පින්තූර රාමු සවි කරන්නටය.
‘‘චුල්ල පදුම ජාතක කථා වස්තුව’’ විශාල රූප රාමුවක රවුම් අකුරෙන් පුන් කලස් දෙකක් මැදින් ඇඳ ඇති අකුරු පෙළ ඔහු හයියෙන් කියෙව්වේය.
"ආරි අයියා මේ කතාව මොකක්ද බං?, ළමයින්ගෙන් බේරෙන්න බැහැ, කතාව අහනවා’’
‘‘යකෝ උඹ මේ කතාව දන්නෙ නැද්ද, අර බයිල එකකුත් තියෙන්නෙ. අර බිසවට කාන්තාරෙ මැද්දෙ වතුර තිබහ හැදිල රජතුමාගේ ඇඟේ ලේ බොන්න දුන්නෙ බං’’ ආරි අයිය කතාව කෙටියෙන් කියවයි. ‘‘අන්තිමේදී බිසව කොටාට ආස හිතිල ඌත් එක්ක පැනල යනව’’
‘‘බිසව මාර මෝඩියෙක්නෙ ආරි අයියා, කකුල් තියෙන එවුන් දාලා කකුල් නැති එවුන් එක්ක පැනල යනවා’’ මොහොමඩ්ට පුදුමය.
‘‘කරුමෙට ඇස් නැහැනෙ බං,’’ ආරියපාල අයියා කියයි.
‘‘උරේ පලල ලේ නුදුන්නට මමත් මල්කාන්තිට කොච්චර ආදරේ කළාද ආරි අයියා’’ මොහොමඩ්ගේ ඇස්වල කඳුළුය.
‘‘හැම ගෑනිම එහෙම නෑ බං… අනෙක උඹට දැන් ආදරේ කරන්න එක්කෙනෙක් ඉන්නවනේ’’
‘‘නන්දනී අක්කට ආදරේට වැඩිය මට තියෙන්නෙ අනුකම්පාවක් ආරි අයියා,.. මං නැත්නම් උන් ටික ජීවත් වෙලා ඉවරයි’’
‘‘මං ඒකෙ වරදක් කිව්වෙ නෑ බං,…… අනෙක මේ කතා ගැලපෙන්නෙ රජ කාලේ වගේම මේ කාලේ සල්ලි යහමින් ඇති එවුන්ට. මේවා අපිට ගැලපෙන්නෙ නෑ බං. උඹලට, අපේ ගෑණුන්ට, චින්චමානවිකාවෝ වෙන්න වෙලා තියෙන්නෙ ජීවත් වෙන්න’’ ආරි අයියා කියාගෙන යන්නේ මොහොමඩ්ගේ සිත සනසවන අටියෙනි. මොහොමඩ් ආරි අයියාගෙන් කතාවේ ඉතිරි කොටසද අසා දැනගත්තේ රෑට ගොස් පොඩි එවුන්ට කියාදෙන අදහසිනි.
‘‘දැන් ඉතින් වැඬේට බහිමු. රෑට ලයිට් හයි කරන්න තියෙනවා’’ එදා රාත‍්‍රියේද ලයනල්ගේ පොට් එකෙන් හොර අරක්කු වීදුරුවක් කටට හලා ගත් මොහොමඩ් දරුවන්ට කතාව කියා පාන්නේ වචන පටලවමින් වරද්දමිනි.
‘‘බිසව කැරකුණා රජ්ජුරුවෝ පුෂ්ගාල තල්ලූ කළා’’
‘‘හුඟක් පහළටද තාත්තෙ’’
"ඒක මං දන්නෑ….. රජ්ජුරුවෝ මැරෙන්නෙ නෑ බං … යන්තම් ෂේප් වුණාලූ මාර චාන්ස් එක’’
‘‘මාරයිනෙ මාමෙ, පොඩි කන්දක් වෙන්න ඇති’’
‘‘තාත්තේ එහෙම උරේ පලල ලේ දුන්න නම් ලේ ගිහිල්ලම මැරෙනවා’’ පොඩි එකක් කියයි. අපේ තාත්තගෙ ඇෙඟ් ඔච්චර ගලාගෙන යන්න තරම් ලේ නැහැ."
‘‘පිස්සුද’’… මොහොමඩ්ගේ දියණිය කියයි.
‘‘උන් රජ්ජුරුවොනෙ බං, රජවරුන්ගේ බොඩිවල හුගක් ලේ තියෙනවා’’ මොහොමඩ් ඇගේ වැසූ මදුරුවා තලා දමමින් පැවසුවේය.
‘‘අනේ තාත්තේ අපි සමරෙ මාමවත් මේ සැරේ වෙසක් බලන්න එක්කගෙන යමු’’
‘‘සමරෙ මාමට දැන් වෙසක් ගැන තේරුමක් නැහැ බං’’
‘‘ලයිට් දිහා බලන් ඉදියිනෙ මාමෙ ……… අපි අර ගෑස් සිලින්ඩර් දාගෙන යන බොරේෂර් රෝද කරත්තෙ දාගෙන තල්ලූ කරන් යමු’’
‘‘හොඳයි බලමුකෝ’’ මොහොමඩ් ඇස් කසමින් කීවේය.
වෙසක් දින රාත‍්‍රියේ විසිතුරු බලන්නට පොඩි එවුන්ට ඉවසුමක් නැත. සමරෙ අයියා බොරේෂර් රෝද කරත්තේ උස්සා තබාගත් මොහොමඩ් දරුවන්ද, නන්දනීද සමග බොරැල්ල පැත්තට ඇදී ගියේ අවට දන්සැල්ද වඳිමින්ය. බොහෝ වේලාවට කරත්තය තල්ලූ කළේ මොහොමඩ්ය. බොරැල්ල තොරණ දුටුවිට ඔහුගේ හිතට දැනුනේ විශාල සතුටක් මෙන්ම ආඩම්බර කමකි. මධුර හඬින් දුක් ගීයක් ගයන ගායිකාවකගේ ගීතයක් කතාව අතර මැදින් ගලා යයි. නන්දනී අක්කා එය අසාගෙන සිටින්නේ බොහෝ දොම්නසෙනි. දරුවෝ විදුලි බුබුළු දෙස බලා එහි විහිදෙන ආලෝකයෙන් ප‍්‍රීතියෙන් කුල්මත් වී සිටියි. සමරෙගෙ ඇස් දෙක පියවී ඇත. ඔහුගේ නෙත් විවර වුනද පෙනෙන්නේ සඳ පායා ඇති අහසය. කරත්තයේ පැත්තට ඇලවී නිදි සුව විඳි ඔහුගෙන් සිහින් ගෙරවිලි හඬක් පිටවෙයි. තොරණේ කතා නාදයෙන් එය යටපත් වී ඇත. සමරෙ අයියා අසලින්ම වාඩිවූ මොහොමඩ් ඔහුටම මුවා වී සිගරට්ටුවක් දල්වාගත්තේ නිදිමත වලක්වා ගන්නටය.
දෙවන වසරේ ඉගෙනුම ලබන සුනිමල් පන්තියේ අනිත් වැඩට වඩා චිත්‍ර ඇඳීමට දක්‍ෂයෙකි. අංක ගණිතය පාඩම වෙලාවට අඩි හප්පමින් සැර වැර වෙන ගුරුතුමා චිත්‍ර වෙලාවට පමණක් සිරිමල් වෙත ලෙංගතුකම් පායි.
එනමුදු මේ දවස්‌වල විසිතුරු වර්ණ යොදාගෙන සිතූ සිතූ ලෙස විත්‍ර ඇඳීමට තරම් හොඳ දිය සායම් පෙට්‌ටියක් සිරිමල් සතුව නැත. තිබෙන සායම් පෙට්‌ටියේ බොහොමයක් පාට ඉවරවෙන්නට හැරිලාය. චිත්‍ර ඇඳීමෙහි එතරම් භාවිතයට නොගැනෙන තද අඳුරු පැහැති වර්ණ කීපයක් පමණක් සායම් පෙට්‌ටියේ තනි නොතනියට ඉතිරි වෙලාය.
ගුරුතුමා අලුත්පාට පෙට්‌ටියක අවශ්‍යතාව ගැන සුනිමල්ට කියන්නේ සෑහෙන කාලයක සිටය.
දින දෙක තුනක සිට විටින් විට ඇද හැලෙන චුරු චුරු වැස්‌ස සුනිමල් ගේ තාත්තාගේ කුලී රස්‌සාවට කෙනෙහිලි කම්කරමින් සිටී.
"අම්මේ මගෙ දිය සායම් පෙට්‌ටිය මේ..."
සුනිමල් පරණ සායම් පෙට්‌ටියේ පියන හැර අම්මාට පෙන්වයි.
"කළු පාටයි, දුඹුරු පාටයි, කොළ පාටයි විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ. අනිත්වා ඉවරයි... මට අළුත් පාට පෙට්‌ටියක් ඉක්‌මනට ඕනෑ.."
"ඔය තියෙන ඒවත් ඉවර වුණාම, පස්‌සෙ නිවාඩු පාඩුව අලුත් එකක් ගන්න බැරියෑ..."
චිත්‍ර ඇඳීම ගැන එතරම් තේරුමක් නැති සිරියලතා කියන්නේ එහෙමය.
මේ තියෙන පාටවලින් විතරක් චිත්‍ර අඳින්න බෑ අම්මේ..."
"කරදර කරන්න එපා දරුවෝ. මේ දවස්‌වල සල්ලි අමාරුයි තාත්තාට... පහුගිය දවස්‌වල ගෙදර හැමෝටම වසංගත උණ හැදුනා. ඒකට තාත්තා කොහු මෝලෙ මුදළාලිගෙන් ගත්තු ණය සල්ලි එකපාරටම කපා ගත්තා. ඒකයි මේ බැරි අමාරුකං මේ දවස්‌වල...."
එහෙත් ඔය කතා තේරුම් ගැනීමට තරම් දැනීමක් සුනිමල්ට නැත.
ඉස්‌සරනම් චිත්‍ර පාඩම පටන් ගන්නා තුරු සුනිමල් බලා සිටියේ ආසාවෙනි. එහෙත් දැන් ඔහුට චිත්‍ර පාඩම වදයක් වෙලාය.
"මේ ළමයා අදත් සායම් පෙට්‌ටියක් ගෙනත් නෑ. ඔය කාගෙන් හරි සායම් ටිකක් ඉල්ලගෙන අදටත් පාට කර ගන්නවකෝ... තමුසෙලා හින්ද පංතියේ අනික් ළමයින්ටත් කරදරේ..."
ගුරුතුමාගේ නොරිස්‌සුම් හඬ සුනිමල් ගේ දෙසවන් තුළට යවුලකින් අනින්නාසේය.
"අනේ මට පාට ටිකක් දෙනවද ජිනේ... මේ චිත්‍රේ පාට කර ගන්න."
"එදත් මං දුන්නා.. හැමදාමත් බෑනේ.. මගෙ සායම් පෙට්‌ටියත් ඉවරවෙන්න ළඟයි..."
කාගෙත් කතා ඔහොමය. පිහිටක් පිළිසරණක් නැත. අනික් ළමයි වැරදි වැරදී මක මකා චිත්‍ර අඳින හැටි, චිත්‍රවලට පාට ගාන හැටි සුනිමල් බලා සිටියේ ආසාවෙනි.
ඊළඟ චිත්‍ර පාඩම ඇති දවසට නම් කෙසේ හෝ පාට පෙට්‌ටියක් ගේනවා මයි කියා සුනිමල් අදිටන් කරගත්තේය. අම්මා තමා කෙරෙහි දැඩි පිළිවෙතක් අනුගමනය කරන බව සැබවි. තාත්තා එසේ නෙවේ. ඔහුගේ තුරුලේ හුරතල් වුණ කල ඉක්‌මනින්ම දිය සායම් පෙට්‌ටියක් ලැබෙනු නියතය.
පසුදින පාසල් යාමට නොහැකි තරම් වැස්‌ස දරුණු විය. පාසල් යාමට සූදානම්ව පොත් මිටිය තුරුළු කරගෙන සුනිමල් ඉස්‌තෝප්පුවට වී නොනැවතී ඇද හැළෙන වැස්‌ස දෙස බලා සිටියේය. මීටත් ප්‍රමාදව පාසල් යාමේ තේරුමක් නැතැයි සිතූ සුනිමල් ඇඳුම් අහවර කොට පරණ සරම් කබලට රිංගා ඇඳෙහි ගුලිවිය. තාත්තා ගෙට ගොඩ වැදී ඇත්තේ ඉන් පසුවය.
සුනිමල් ගේ කංකෙඳිරිය පරයා අනෝරා වැස්‌ස දිගටම ඇද හැළෙයි. පරම්පරා දෙහෙකට වැඩි කාලයක් පරණ වූ සිංහල උළු වහලය සහිත නිවස දැන් බහින කලාවට හැරිලාය. වහලය තුළින් ගෙට කාන්දුවෙන වතුර එක් රැස් වෙනු පිණිස සිරියලතා කුස්‌සියේ ඇති වලන්, පිඟන්, බේසම් ආදී අතට අහුවෙන දෑ ගෙනැවිත් බිම තබා ඇත. එම බඳුන් වලට වැටෙන දිය බිඳු එකිනෙකට වෙනස් නාද රටා මවා පායි. බිමට ඇතිරූ සිමෙන්ති බදාමයද පුපුරා ඉරිතලා ගිහින්ය. ඒවා යට වාසස්‌ථානය කොට ගත් කළු කූඹි සිය රාජධානිය වඩාත් පුළුල්කොට ගොඩනගමින් පවතී. එනමුදු අබේරත්නලාට ඕවා ගැන හිතන්නට මේ කාලය නොවේ. නැතිබැරි කම සමඟ අත්වැල් බැඳගත් ජීවන අරගලය රුදුරු අවි අමෝරා සටනට පිවිස සිටී.
ගතපුරා වෙලාගත් හීගතුව අබේරත්නගේ ඇඟ මස් නහර තුළට ද කාවැදී ගියාක් මෙනි. අබේරත්න තවතවත් ඇඳේ ගුලි ගැහුනේය. සිරියාවතී ද චීත්තයක් පොරවාගෙන උළුවස්‌සට බරදී මිදුල පුරා සැර පරුෂ සර්පයන් මෙන් ඇදී යන වතුර පාරවල් දෙස බලා සිටී.
උදයටත්, දහවලටත්, දෙකටම හරියන්න ලැබුණ රොටී කැබැල්ලෙන් සෑහීමකට පත් සුනිමල් අබයරත්නට තුරුළුව නින්දට වැටී ඇත. වැසි දියෙන් අමුතු ජීවයක් ලද ගස් කොළන් අතරින් මා ඔයේ බොර පාට වතුර පාර වෙනදාට වඩා අනුකම්පා විරහිතව ගලාබසිනා අන්දම සිරියාවතීට පෙනෙයි.
"කහට ඇබින්දක් වැක්‌කෙරුවොත් නරකද?"
නින්දෙන් පිබිදුන අබේරත්න ලොකු ඈනුමක් වාතලයට මුදාහරිමින් පැවැසුවේය.
"වතුර කේතලේ ලිපේ තිබ්බා. මෙලහටත් පැහෙනවා ඇති"
"අනේ මන්දා... මේකනං මුරුගසං වරුසාව වාගෙ. දැන් දවස් කීයක්‌ද? බලාගෙන ඉද්දි ඔයේ වතුර නගිනවා. උඩහටත් එකසීරු වහිනවා ඇති."
"කුලියක් මලියක් කරගන්න විදිහක් නැතුව දවස් කීයක් වුණාද.. ගෙදර තියෙන පනං හතරත් වැස්‌සට අහුවෙලා ගහගෙන යනවා වාගෙ...."
අබේරත්න ගේ දෑස් මලානිකය. කිසිම දීප්තියක් නැත.
"කොහු මෝලෙනම් සෑහෙන කාලෙකට වැඩට යන්න ලැබෙන එකක් නෑ. පොල් ලෙලි වළත් උතුරලා ඇති...."
කොහු මෝලේ ගුණසෝම මුදළාලිට නැතිබැරි කම් කියා කොපමණ පින්සෙන්ඩු වුණත් එක රුපියලක් ණයට දෙන්නේ නැත. මුදල් සේප්පුව ගල්ගැහී තිබෙන අතර යහගුණය පමණක් වතුරට ගසාගෙන ගොස්‌ය.
"පිට කුලියක් හොයා ගන්නත් වැහි පායන්න එපායෑ." සිරියාවතී කතා කරන්නේද කනස්‌සල්ලෙනි.
"කුලියක් මලියක් හොයාගන්න එකත් නිකිණි හොයන්නැහේ." කතාබහ අතරේ අබේරත්න උණුසුම් කහට කෝප්පය තොල ගානුයේ යම්කිසි ලතාවකට මෙන්ය. හකුරු කෑල්ල දත් දෙපළට තබා යාන්තමින් සපා ගත් කළ කහට කෝප්ප බාගයක් පමණ ඉවර කළ හැකිය. මේ දවස්‌වල හැම දෙයක්‌ම දෙන්න දෙමහල්ලෝ පාවිච්චි කරනුයේ එතරම්ම අර පරෙස්‌සමටය.
"පුතා ට කූද්දලා කහට ටිකක් දුන්නොත් නරකද?."
"ඕනෑ නෑ. කහට වලින් බඩ පුරව ගත්තා කියල ඇති පලේ මොකක්‌ද?.. දෙසැරයක් චූ කෙරුවම ඉවරයි..."
සිරියාවතී පවසනුයේ බොහෝ කරුණු කාරණා දන්නා එකියක් පරිද්දෙනි.
"තාත්තේ මට දිය සායම් පෙට්‌ටියක් ඕනෑ..."
"ආ... නැගිට්‌ටද? කහට වතුර ටිකක් දෙන්ඩෑ උඹට.."
"එපා දිය සායම් පෙට්‌ටියක් ඕනෑ.."
"කෑනුගහා ඉදින් දරුවෝ.. මේ නාකපන වැස්‌සේ ගෙයින් එළියට බහින්න විදිහක් තියෙනවද?"
"මං කිව්වෙ අම්මට නෙමේ තාත්තට.."
"තාත්ත ට කියන ඒව මටත් ඇහෙනවා. පේන්නෙ නැද්ද අර මා ඔය දෙගොඩ තලා යන හැටි. හෙට වෙනකොට අපේ වත්තටත් වතුර දායි. කොහොම ගඟෙන් එගොඩ වෙලා කඩමණ්‌ඩියට යන්නද?
"එහෙනම් මං හෙට ඉස්‌කෝලෙ යන්නෙ නෑ...."
"කව්ද හෙට ඉස්‌කෝලෙ යන්නේ.. මෙහෙම ලෝකෙ විනාශ වෙන්න වහින කොට මොන සක්‌කරය ද ඉස්‌කෝලෙට එන්නේ?"
"ඒ වුණාට ළමයි එනවා..."
"ළමයි ආදෙන්, උඹ ගෙදර ඉඳින්. වැස්‌සෙ නටලා හෙම්බිරිස්‌සාව හදාගන්න මෙතන..."
සිරියාවතීගේ හා දරුවාගේ වාදය අකුරෙන් අකුර වචනයෙන් වචනය දිග්ගැසෙයි. එකෙකුට එකෙක් පරදින්න දෙදෙනාම සූදානම් නැතුවා වැන්න. එහෙත් මේ කතාබහ දෙස අබේරත්න බලාසිටිනුයේ උපේක්‍ෂාවෙනි.
"දිය සායම් පෙට්‌ටි පංතියේ හැමෝටම තියෙනවා. තාත්තේ... මට විතරයි නැත්තේ... ඊයෙත් ඉස්‌කෝලෙ මහත්තයා මට ටොක්‌කක් ඇන්නා. ගොඩාක් රිදුනා..."
"නවත්තා ගනිං කීවෙ ඔය ඈඬියාව. ඕක අහළ මගෙ කන්දෙක අගුල් වැටිලා.."
"මහත්තෙයා කිව්වා ළමේක් ගෙන් ඉල්ලගෙන පොතේ චිත්තරේ පාට කරගන්න කියලා.. ඒත් කවුරුත් මට දිය සායම් දුන්නෙ නෑ..."
සුනිමල් ලේසියෙන් පසු බාන්නේ නැත. ඔහුට ඉදිරිපත් කරන්නට තවත් තර්ක විතර්ක බොහෝ ඇතිසේය. පියකු සේ තවත් මේ අරගලය දෙස නිසොල්මනේ බලාසිටීමට තරම් අබේරත්නගේ හිත දරදඬු නැත. ගංවතුර විසින් මීට පෙර වතාවල එල්ල කරන ලද බොහෝ අභියෝග ඔහු ජයගෙන ඇත.
අබේරත්න නැගිට ගොස් හබරල ගාලෙන් විශාල හබරල කොළයක් කපාගෙන ආවේය.
"ඒ ගමන ඔය කොහෙ යන්නද?"
සිරියාවතී පුදුමයෙන් මෙන් ඇසුවාය.
"මං ළඟට ගිහිල්ලා එන්නම් කෝ..."
"දිය සායම් ගේන්න මේ මහ වැස්‌සේ.. පිස්‌සුද අනේ හැබෑට"
"මේක මොන වැස්‌සක්‌ද යෝදියේ මට...?"
"ගඟ බොර පාටයි. මෙහාට පේනවා වතුර වැඩිවෙනවා බලා ඉද්දි.. කිව්වම අහලා ගෙදර ඉන් නැතුව..?"
"මෙහෙම වතුරෙද සිරියාවතී මම එගොඩ මෙගොඩ පීනුවේ. මතක නැද්ද මං ඔහේව බලන්න ඒ දවස්‌වල සැඩපාර කපාගෙන ආ හැටි.."
ඒත් මේක සිරියාවතීට ඒ රසබර අතීතයේ සොඳුරු කඩඉම් ගැන කල්පනා වෙන වෙලාවක් නොවේ. එම රසබර අතීතයක හිමිකම වර්තමානයේ ඇති රුදුරුබව විසින් යටපත් කොට ඇත.
"තාත්තේ දියසායම් පෙට්‌ටියක් ගේනකොට දිග එකක් ගේන්න. කොට ඒ වයෙ හැම පාටක්‌ම නෑ."
"කට වහපන් කීවෙ... තාත්තව ඉසච්චි කරනවා මදිවට.."
"දරුවට බනින්න එපා සිරියාවතී. උන් දන්න රෙද්දක් ඇතෑ.
හබරල කොළයෙන් හිසමුවා කරගත් අබේරත්න අඩියට දෙකට වත්ත පහළ මා ඔය දෙසට ඇදී නොපෙනී යන අන්දම සිරියාවතී බලා සිටියේ දෙගිඩියාවෙනි. කවදාවත් නැතිව ඇයට දරුවා ගැන නුරුස්‌සනා ස්‌වභාවයක්‌ද හටගනී.
"අම්මේ තාත්තා දිය සායම් පෙට්‌ටිය ගෙනාවම මං ලස්‌සනට චිත්‍ර පාටකරනවා.. මං තරං ලස්‌සනට චිත්‍ර අඳින්න පංතියේ කාටවත් බෑ..."
"කට වහගනිං.. අපරාදෙ තාත්තව එගොඩ යැව්වා.." ඇය වියරු වැටුණ එකියක මෙන් කෑගෑවාය. දරුවා පස්‌සට විසිවුණ තරම්. ඔහුගේ කම්මුල් දිගේ කඳුළු මල් පූදින්න ඇසිපිය හෙලන වෙලාවක් ගතවුණේ නැත. දෙගිඩියාවෙන් මෙන් ඇය ඉස්‌තෝප්පුවේ කණුවට පිටදී සැඩ පරුෂ කමින් ගලාබසින ගඟ දෙස බලා සිටියාය.
වැස්‌ස වලාහක තෙමේ තවතවත් කුරිරු වූවා මිස ඔවුන් කෙරෙහි දයානුකම්පාවක් පෑවේ නැත. සුළඟ හා විදිලි කෙටීම තව තවත් තියුණු විය. කොලුවාට නම් හොඳ හැටි නින්ද ගොසින්ය.
අබේරත්න කඩමණ්‌ඩියට ගිහින් දැන් සෑහෙන වෙලාවකි. ඔහු නිකං නිස්‌කාරණේ කඩමණ්‌ඩියේ රස්‌තියාදු ගසන්නෙකු නොවේ. ගියොත් ගිය රාජකාරිය කරගෙන පෙරළා ගෙදර එන්නෙකි.
තවත් එක තැනෙක රැඳෙමින් එක් දිසාවක් දෙස බලා සිටිනු නොහී, සිරියාවතී විටෙක කුස්‌සියට ගියාය. නැවතත් ඉස්‌තෝප්පුවට ආවාය.
වැහි අඳුර මැඳින් ගොම්මන් කළුවරද මෝරන්නට විය. යම්කිසි සහනයකට ඇත්තේ වැස්‌ස මදක් තුරල් කිරීමය. පහළ ගෙදර සාමෙල් උන්නැහේ ඉක්‌මන් ගමනින් සිරියාවතීලාගේ ගේ දෙසට පියනැගුවේය. මිනිස් පුළුටක සේයාවක් නුදුටු සිරියාවතීට සාමෙල්ගේ පැමිණීමද යම් ඇස්‌වැසිල්ලකි.
"සිරියාවතී.. සිරියාවතී අන්න අබේරත්නයා ගඟේ ගියා.."
සාමෙල් සිරියාවතී ගේ බිය රැඳි මුහුණ දෙස බලා කෑගැසුවේය.
"අනේ මගෙ රත්තර නේ..."
සිරියාවතී ගේ දෑස නිලංකාර වී යන අයුරු ඇයට දැනුණි. සාමෙල් වහා ඉදිරියට පැන ඇය වත්තන්කර ගත්තේය.
"සාමෙල් ආත්තේ, සාමෙල් ආත්තේ... දිය සායම් පෙට්‌ටියත් ගඟේ ගියා ද?"
සිරිමල්ගේ කෙඳිරිල්ල සිරියාවතී ට වත් සාමෙල් ටවත් ඇසුනේ නැත.
(අයි.එම් එස් .සත්යප්‍රසාද් මහතාගේ මුහුණු පොතින් උපුටා ගැනීමකි)
අපි හිටියේ රේල්පාරක පීලි උඩ ඇවිද ඇවිද. රේල් පාරෙ තියෙන හොඳම දේ තමයි පීලි අතර දුර වෙනස් නොවෙන එක. ඒ වගේම දරා ගන්ඩ බැරි කන්දක් වත් පල්ලමක් වත් රේල් පාරක හම්බවෙන්නෙ නෑ. අනික ඒක පටු දුම් රිය පාරක්. එහෙම නූන නම් අපිට පීලි දෙකේ ඉඳන් අත් අල්ලගෙන යන්ඩ බැරි වෙනව. අපිට අත් අතාරින්ඩ වෙන්නෙ කෝච්චියක් ආවොත් තමයි. හිනහත් යන්ඩ එනව කෝච්චි ගැන කිව්වම, හරියට අපි මහා නගරෙක හිටිය වගේ. මේ පාරෙ ඕන්නම් දවසකට කෝච්චි හතරක් යයි. උදේ කෝච්චිය යනව අපි දැක්කදත් කොහෙද. ආයි ඉතින් තව පැය ගානකට කොහෙ එන්ඩද? පාලමක් උඩින් යද්දි අපි බිම බැලුවෙනෑ. වැටෙන්නෙ නැති බව සහතික වුනත් හිතට පොඩි චකිතයක් එනව. අපි බිං ගේ ඇතුලෙන් යනකොට ඈ මගේ අත තදින් අල්ලගත්ත. විකාර, කළුවරට ඔය හැටි මොකට බයවෙන්නද? හිතට ආවට මම මොනවත් කිව්වෙ නෑ. බිං ගේ එහා පැත්තෙන් එන එළිය නිසා පීලි දිලිසුනා. එහෙම නූන නම් අපිට කකුල් පැටලෙන්ඩ ඉඩ තිබුණ. ඒත් ගමනක් යනකොට ඕව ඔක්කොම හිතන්ඩ කාටද පුලුවන්.
අපි යමින් හිටියෙ ගමනක්. ඒක චාරිකාවක්මත් නෙමේ. අපට ගමනාන්තයක් තිබුණෙ නෑ. තිබුණ නම් අපි යනවනෙ කෝච්චියක? අපට කෝච්චියෙ යන්ඩ සල්ලි තිබුන්නැති එක වෙනම කතාවක්. කතන්දර අහද්දි ප්‍රශ්න අහන්ඩ එපා. තර්කය කියන දේ කතාවල්ට අදාල නෑ, විශේෂයෙන්ම අපේ වගේ සුරංගනා කතාවල්ට. එහෙම කිව්වත් මේ කතාවෙ සුරංගනාවො හිටියෙ නෑ. ඔන්න ආයෙත් ප්‍රශ්න අහනව, මං ඈට සුරංගනාව කිව්ව එක මේ කතාවට අදාළ නෑනෙ. කමක් නෑ, ඇහුව හින්ද මං ඒකත් කියන්නම්. හැබැයි ඒක වෙනම කතාවක්. ඒ හින්ද අපි දැන් පොඩ්ඩකට යනව අතුරු කතාවකට.
ඇ හිටියෙ කැන්ටිමේ අල්ලපු මේසෙ ප්ලේන්ටියක් බිබී. මං දැන් ගොඩක් වෙලා ඉඳල ඈ දිහා බලාගෙන හිටියෙ. ඇගේ දෑස් යොමුවෙලා තිබුනෙ කැන්ටිමේ ඈත කෙළවරේ තිබුණු බාල්කෙ මධ්‍ය ලක්ෂ්‍යය දිහා. මං හැරිල බැලුවට එතන වෙනසක් තිබුනෙ නෑ. විතරක් නෙමේ ඒ බාල්කෙත් වෙන ඒවට වඩා වෙනසක් තිබුන් නෑ. මං කල්පයක් කල් බලන් හිටියෙ නෑ, කියන කොට අහ ගන්ඩකො, එයා ප්ලේන්ටිය බීල ඉවර වෙනකම් විතරයි. වෙලාව ද? වෙලාව හරියට විනාඩි දොළහයි තප්පර දහයක් ගිහින් තිබුනා. නැතුව? නිමිල තියෙන්ඩ ඇති තමයි. එදා සෑහෙන්ඩ හීතල දවසක්. අනික මම රස්නෙ බලන්ඩ ගියෙත් නැනෙ, ඇයි ඉතින් මගෙන් අහන්නෙ? එතන තිබුනු විශේෂය තමයි ඒ මුළු විනාඩි දොළහටම එයා එක පාරක් වත් ඇහි පිය ගැහුවෙ නෑ. ඔය ගොල්ලො අහල තියෙනවනෙ සුරංගනාවො ඇහි පිය ගහන්නෑ කියල. ඉතින් මම ඇත්තටම හිතුව ඈ සුරංගනාවක් කියල. මට මේක හරියටම දැන ගන්ඩ ලොකු උවමනාවක් තිබුන. ආයි වෙන කාගෙන්වත් අහන්නෙ මොකටද කියල හිතල මම කෙළින් ම ගිහින් එයාගෙන් ම ඇහුව එයා සුරංගනාවක් ද කියල. තත්පර දෙකක් යනකම් මුකුත් වුනේ නෑ. ඒ මේසෙ හිටපු සේරම මගෙ දිහා පුදුමෙන් වගේ බලා හිටිය විතරයි. මුලින්ම හිනාව පටන්ගත්තෙ එයාමයි. ඊට පස්සෙ ඒ මේසෙ හිටපු එයාගෙ මිතුරියො. ඊටත් පස්සෙ කැන්ටිමේ හිටපු හැම දෙනෙක්ම. වෙන එකක් තියා කවදාවත් හිනා වෙන්නැති කැන්ටින් මුදලාලි පවා. එදායින් පස්සෙ ගොඩක් දේවල් වුනා. කොහොම වුනත් මේ වෙනකොට අපි රේල් පාර දිගේ ඇවිදිමින් හිටියෙ.
රේල් පීලි උඩ ඇවිදින එක ක්‍රීඩාවක් වත් තරගයක් වත් නෙමේ. අපි ඒක කලේ විනෝදටමත් නෙමේ. අපි දෙන්නට ම ගමනක් යන්ඩ ඕන වෙලා තිබුණ. මුලින් ඒ අදහස ආවෙ කාටද කියල අපි දැනගෙන හිටියෙ නෑ. කොහේ යනවද කියල අරමුණක් තිබුණෙත් නෑ, මම කිව්වනෙ අපට ගමනාන්තයක් තිබුණෙ නෑ කියල. ගමනක් ඕන්නම් තනියෙන් යන්ඩත් පුලුවන්. එහෙම යනකොට අපි රස විඳින්නෙ අපි දකින දේවල් එහෙම නැත්නම් අහන්න ලැබෙන දේවල්. ඒත් තව කෙනෙක් එක්ක ගමනක් යන එක එහෙම නෙමේ. එතකොට අපට සමහර විස්තර මග හැරෙනව. අපි වැඩියෙන් අවදානය යොමු කරන්නෙ එකිනෙකාට, කතා බහට. කතා නොකර ගොළුවො වගෙ යන්ඩත් පුළුවන් තමයි. ඒ ගියත් තව කෙනෙක් ඉන්නව කියන හැඟීමෙන් ගැලවෙන්න ලැබෙන්නෙ නෑ.
අපි කතා කළේ මොනවද කියලද ඇහුවෙ? කතා නොකළ දෙයක් නැති තරම්. ගොඩක් වෙලාවට කවි ගැන ගීත ගැන. සමහර වෙලාවල්ට අපේ පරණ හිත් රිදීම් ගැන. ඒ ගැන කතා කරන්න නම් ඈ ගොඩක් කැමති වුණා. ඒ සමහර දේවල් මට තේරුණේ ෆැන්ටසි ඒකක් විදිහට වුණත් මම ඔහේ අහගෙන හිටියා. අපි චිත්‍රපටි ගැන කතා කෙළේ නැත්තෙ ඈ ඒවට රුචියක් නොදක්වපු නිසා. අපි එක මොහොතක් කතා නොකර හිටියෙ නෑ. මට මේ ගමනෙ තිබුණු වටිනම දේත් ඒකමයි. ඒත් අපි පහුකළ රේල් පාර අවට තිබුණු කිසි දෙයක් ගැන අපට නිනව්වක් තිබුණෙ නෑ.
ඈ මං ගැන ඕනවට වඩා සැලකිලිමත් වුණා. ‘ඔයාට මහන්සියි, දැන් ටිකක් නතරවෙමු’ ඈ කිව්ව. මට කිසිම මහන්සියක් තිබුණෙ නෑ. මම ඒ බව කිව්වට ඈ තදින්ම කියා හිටියා අපි නැවතිය යුතු බව, නැත්නම් ඈ ගමන යන්න එන්නැති බව. ඒක තර්ජනයක් නෙමේ, ඈ ඒක කිව්වෙ හිනා වෙවී. මට වෙන විකල්පයක් තිබුනෙ නෑ. පස්සෙ පස්සෙ මම ඒක ගණන් ගන්නෙ නැතුව හිටිය. ඒකත් මේ ක්‍රීඩාවෙ තවත් නීතියක් වගෙ වුනා. ඇත්තටම ඈ මා ගැන කරදර වුණා. ඇට ගොඩක් මාව ඕන වුණු බව මට තේරිලයි තිබුණෙ. ඈම කියපු විදියට ඈ මෙච්චර මුරණ්ඩු වෙන්න ඇත්තෙ පවුලෙ බඩපිස්සි වුණ නිසා වෙන්න ඇති කියල මටත් හිතුන.
තවත් පාලමක් සහ බිං ගෙයකට පස්සෙ අපි හිටියෙ රේල් පාරෙ ලොකු වංගුවක් ඇති තැනක. මේ පාර දිගේ අපි කලින් ඇවිදපු බවක් අපට මතක තිබුනෙ නෑ. වංගුවෙන් පස්සෙ කෙලින් ඇදුනු රේල් පාර ඈත ගස් වදුලක් ළඟ හැංගුනා. ඒ එක්කම පාලම පහු වුණාට පස්සෙ අපි වචනයක් වත් කතා නොකල බව මට මතක් වුණා.
ඈ හිටියෙ රේල්පාරෙ ඈත කෙළවර දිහා බලාගෙන. මා ඈ දිහා බලාගෙන ඉන්න බව දැනගත්තම ඈ හිනා වෙලා තොරතෝංචියක් නැති කතාව ආයෙමත් පටන් ගත්ත. පුදුමකට වගේ ටික වෙලාවකට කලින් අපි කල්පනාවල් දෙකක හිටපු එක ගැන කවුරුවත් කතා කලේ නෑ.
කතාව මැදින් අපි රේල් පාර කෙළවර වුන ගස් වදුල ළඟට කිට්ටු වුණා. ගස් වදුල පටන් ගන්න තැනම වගේ තිබුනෙ රේල් හන්දියක්. මේ හරියෙදි රේල් පාර බෙදී දෙපැත්තකට ඇදෙන බව අසා තිබුනු බව මට මතක් වුනා.
‘අපි යං දකුණු පැත්තට’ ඈ හදිස්සියෙන්ම කිව්ව. එහෙම කියන්න අවශ්‍යතාවයක් තියෙයි කියල මට කොහෙත්ම හිතිල තිබුණෙ නෑ. අපි යන්නෙ වම් පැත්තට හැරුනු රේල්පාරෙ කියල මං හිතාගෙන හිටිය. ඔන්න ආයෙමත් ප්‍රශ්න අහනව. මෙච්චර වෙලා හිටිය වගෙ සද්ද නැතුව අහගෙන ඉන්ඩකො! හොඳයි, මොකක්ද ඔයා ඇහුවෙ? එහෙම හිතාගෙන හිටියෙ ඇයි කියලද? ඉතින් මං හිටියෙ වම් පීල්ලෙනෙ? ඉතින් මම ඒ පීල්ල දිගේම ගියාම අපි යැවෙන්නෙ වමටනෙ? අනිත් එක ගමනාන්තයක් නැති ගමනක් යන අපි කොහාට ගියාම මොකද? ඇගේ කතාවට මගේ නුරුස්නා කමක් ඇතිවුනා කියල ආයෙ අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. මේ ගමන ආවෙලාවෙ ඉඳන් හැම එකකදිම මට ඇගේ යෝජනාවට එකඟ වෙන්න වුනා. ඇයි ඈට බැරි මෙතනදිවත් මා හිතපු විදිහට එකඟ වෙන්න? මේ පාර නම් මං තදින් ම ඉන්නවා….
අවසානය එක
මේ වෙනකොට අපි රේල් හන්දියටම ඇවිල්ලයි තිබුණෙ. වචනෙන් නොකිව්වට කවුරුත් යන පාර වෙනස් කරන්නැති බව පේන්ඩ තිබුණා. හිතේ තිබුණේ කේන්තියක් ද දුකක් ද කියල හරියටම කියන්ඩ බැරි වුනත් හිතාගත්ත දේ වෙනස් කරන්ඩ බැරි මුරණ්ඩුකමත් ආඩම්බර කමත් ඇර වෙන යමක් එතන තිබුණෙ නෑ. මේ ගමනෙ ප්‍රථම වතාවට කෝච්චියක් එන්නෙ නැතුවම අපේ අත් අතෑරිලා තිබුණා. අඩියක් ඉස්සරහට තියලත් මා ආයෙත් ඈ දිහා හැරිල බැලුවා. මා දිහා බලාගෙන හිටි ඈ එක්වරම අහක බලා ගත්තා. බැහැගෙන යන ඉර එළියට ඇගේ ඇහේ කඳුළු බින්දුවක් දිලිසුනා. ‘හොඳ වැඩේ, ඔහොම හරි පාඩමක් ඉගෙන ගද්දෙන්’ කියා මා ආපහු හැරුණා. ඈ ආපහු හැරී බැලුවෙ නෑ ඉන් පස්සෙ.
අවසානය දෙක
මේ වෙනකොට අපි රේල් හන්දියටම ඇවිල්ලයි තිබුණෙ. වචනෙන් නොකිව්වට කවුරුත් යන පාර වෙනස් කරන්නැති බව පේන්ඩ තිබුණා. හිතේ තිබුණේ කේන්තියක් ද දුකක් ද කියල හරියටම කියන්ඩ බැරි වුනත් හිතාගත්ත දේ වෙනස් කරන්ඩ බැරි මුරණ්ඩුකමත් ආඩම්බර කමත් ඇර වෙන යමක් එතන තිබුණෙ නෑ. මේ ගමනෙ ප්‍රථම වතාවට කෝච්චියක් එන්නෙ නැතුවම අපේ අත් අතෑරිලා තිබුණා. අඩියක් ඉස්සරහට තියලත් මා ආයෙත් ඈ දිහා හැරිල බැලුවා. මා දිහා බලාගෙන හිටි ඈ එක්වරම අහක බලා ගත්තා. බැහැගෙන යන ඉර එළියට ඇගේ ඇහේ කඳුළු බින්දුවක් දිලිසුනා. එක පාරටම මට හීන් දුකක් දැනුනා. මොනව වුනත් අද දවස තිස්සෙ එකට ආපු ගමන මෙහෙම කෙළවර වෙන එක අපරාදයක් කියල හිතුන. ඈටත් එහෙම නොහිතුනා නම් කඳුළු එන්නෙ නෑනෙ ඇහැට? මං හැරිල රේල්පාරෙන් අයින් වෙලා ඇගේ නම කියා කෑගැහුව. හරියට මං කතා කරන කම් බලා හිටිය වගේ ඈ දුවගෙන ඇවිත් මගේ අතේ එල්ලුනා.
අපි මේ ගමනෙ ප්‍රථම වතාවට රේල් පීල්ලක නො ඉඳ අත් අල්ලගෙන හිටිය.
(නයනසිරි තිලකරත්න - වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ)
පුංචිරාළ වෙඩි බෙහෙත් මල්ල ළංකර ගත්තේ වැරෙන් ඇදල. ඉරට්‌ටිය උකුල උඩ තිබුණා. වෙඩිල්ල හිර කරන්ඩ මත්තෙන් අච්චුකූරෙ රෙදිකෑල්ලක් දවටල තුවක්‌කු බටේ ඇතුළට ඇරලා හොඳට සුද්ද කෙරුව. ඒ කරන ගමන්ම බෙල්ල දික් කරල වත්ත පහළට බැල්ම හෙලුවා. හීන්මැණිකා පේන්න හිටියේ නෑ. හීන්මැණිකා දීග ඇන්න ඇවිත් දැන් අවුරුදු දහයක් ගත වුණා. කොලුවට අවුරුදු අටයි. හැබැයි ඊට පස්‌සෙ දරු සුරතල් බලන්න නෑ. මේ ගැන හීන් මැණිකා හිටියේ කනස්‌සල්ලෙන්. පුංචිරාළටත් ඒ ගැන දුකක් තිබුණා. ඒත් උරුමකරුමවල හැටියටනෙ ලැබෙන්නෙ. පුංචිරාළ නිතරම එහෙම හිතුව. හුඟක් දවස්‌වලට හීන්මැණිකත් ඔය කාරණාව ගැන හිටියෙ මූණ එල්ලගෙන. ඉතිං පුංචිරාළට නිකං මදිකමක් වාගෙ දැනුණා. පුංචිරාළයි හීන් මැණිකයි අතරෙත් අවුරුදු පහළොවක තරම් වයස් පරතරයක්. ඒ ගැන එච්චර නිනව්වක් පුංචිරාළට තිබ්බෙ නෑ. හීන්මැණිකා එක් දරුපොළක් හින්ද ඇඟපතේ ලොකු වෙනසක් නෑ. තාමත් පුංචිරාළට වැඩිය හයිහත්තිය එමටයි. පුංචිරාළගෙ පපුව මැද තිබුණු මවිල් සුදුම සුදු පාටට පැහිල. සමහරවිට පුංචිරාළ ඒ දිහා බලල හුස්‌මක් හෙළුවා. ඉලංදාරි කාලෙ වාගෙ කොණ්‌ඩෙ කෙසුත් නෑ. ඒවත් අකාලෙටම ගැලවිලා ගිහුං තට්‌ටෙත් පෑදිල. තිබුණු කෙස්‌ගස් ටික එකතු කරලා බැන්දම කුඩා අමු පුවක් ගෙඩියක් විතර ඇති කොණ්‌ඩේ. අච්චුක්‌කූර නැවතත් තුවක්‌කු බටේට ඇරිය. අහකට අරගෙන තුවක්‌කු බටේ හිලට ඇහැ තියල බැලුව ඇතුල සුද්ද වෙලා ද කියල. ඒ කාලෙ හැන්දැවෙ කාල බීල පිලට ඇවිත් විටක් හපන කොට හීන්මැණිකා ඔළුවෙ තෙල්ගාල යස අගේට මී අං පනාවෙන් පුංචිරාළගෙ හිස පීරල කොණ්‌ඩෙ බඳිනව. හඳ එළිය පිලට වැටිල තියෙන වෙලාවට පුංචිරාළ හරිම මනාපයි. මී අං පනාවෙන් කොණ්‌ඩෙ පීරනකොට දැනෙන සනීපෙට පුංචිරාළට ඇස් පියවෙනවා.
"උඹලට බුදිමතද"
"නෑ. තව ටිකක් ඔළුව අතගෑවනං"
"දාවල් තිස්‌සෙ අව්වෙ ඉඳල ඔළුව කරවෙලා. මං ඕං හොඳට තෙල් සාත්තුව කළා."
පුංචිරාළට සංතෝසෙටම හීන්මැණිකගෙ අතිං ඇල්ලෙනවා. පුංචිරාළ ආයෙත් බෙල්ල දික් කරල ඈත බැලුවා. පේන්ඩ නෑ. කොල්ලාවත් පේන්ඩ නෑ.
"උන්ගෙ අම්මත් එක්‌ක ඒකා වත්ත පහළ ඇති" පුංචිරාළ හිතුවා. දිව ගිලෙන්ඩ වතුර තිබහත් තිබුණා. ගිරිස්‌මෙ හරිම සැරයි. ටික දොහොක ඉඳල හිතේ නලියන මොකක්‌දෝ එකක් එක්‌ක පුංචිරාළට නිද්ද බඩගින්න හොරයි. වතුර තිබහ තියෙනව නෑ වාගෙ.
"පුතේ වතුර පොල්කට්‌ටක් ඇරං වරෙංකො"
කොල්ලා කොහේද ඉඳල වතුර කොතලෙ ගෙනත් තිබ්බා.
පුංචිරාළ තුවක්‌කුව පැත්තකිං තියල හුස්‌මට දෙකට වතුර කොතලෙ ඇද්දා.
"පුතේ උඹලගෙ අම්මා කොයි?"
"වත්ත පහළ හිටියා" කොල්ලා උගේ පාඩුවෙ උගෙ වැඩක්. කෝකටත් කියල තුවක්‌කුව පැත්තකට කොරල පුංචිරාළ වටපිලෙන් නැගිටලා නොදැනෙන ගානට වත්ත පහළ බැලුවා. වැට අයිනේ ඉඳගෙන හීන්මැණිකා තැල්කොල ගාලක කොළ කඩනවා. පුංචිරාළ ඇස් පුංචිකොරල වටපිට බැලුවා.
"හ්ම්" හුස්‌මක් ඇරල ආයෙත් ඇවිත් වෙඩිල්ල හිර කොරන්ඩ පටන් ගත්තා. වෙනදට වැඩිය වෙඩි බෙහෙතුත් මූනිස්‌සං කැටත් පුංචිරාළ අතින් වැටුන කියලයි පුංචිරාළට හිතුනෙ. පුංචිරාළගෙ හිත හරි නෑ. රෑ හේනට යන්ඩම ඕනෑ. නැත්තං වල්ඌරොයි අලියයි පතබෑවුණොත් කන්නක් අව්වෙ හිටපුව ඔක්‌කොම ඉවරයි. ඊළඟ කන්න එනකං බඩගින්නෙ කූං ගාන්ඩ වෙනවා.
ඉතිං ගෙදරින් ගියාම කොල්ලයි හීන්මැණිකයි විතරයි. කොල්ලටත් පැදුරෙ වැටිච්චි ගමං නින්ද යනවා. හීන් මැණිකා තනියම. ඉස්‌සර නං බය නෑ. පුංචිරාළ විස්‌සෝප වුණේ නෑ. ඒත්...
පහුණු සුමානෙ පුංචිරාළ හේනේ ඉඳල එනකොට සියාතු මලයා ගෙදර හිටියා. පුංචිරාළ එනකොට හීන්මැණිකා සියාතුවාට රණවරා මල් පොල්කටුවයි හකුරුයි දෙනවා පුංචිරාළගෙ ඇහැ ගැහුණා.
"පුංචිරාළ අයිය හේනේ ඉඳලද"
"හ්ම්... බඩගිනිත් එක්‌කම ඉර හැරිලත් හින්ද ආව."
"මාත් මේ කඩේ දිහාට යන ගමං. පුංචිරාළ අයියත් ඉන්නවද බලන්ඩ එක්‌ක ආවෙ. නැති හින්ද යන්ඩ කියල."
"උඹ ආවෙ"
"පහළ කුඹුරට වතුර මදි. වතුර ටිකක් ඉහගන්ඩ යොත්ත ඉල්ලගංඩ කියලා."
"හ්ම්"
"ඔය වතුර ටිකක් ගත්තනං. දිව ගිලෙන්ඩ වාගෙ තිබහ."
හීන්මැණිකා වතුර කොතලෙ දුන්නෙ ඕනෑවට එපාවට වාගෙ කියලයි පුංචිරාළට හිතුනෙ. හරිනං සියාතුවාට රණවරා මල් වතුරයි හකුරුයි දුන්න එකේ මේ අව්වෙ නැහිල එනකොට අහන්ඩත් ඉස්‌සරල දෝතින්ම ගෙනත් දෙන්ඩ එපැයි. එහෙම වුණේ නෑ. සියාතුවා රණවරා මල් වතුර බීපු පොල්කටුව අතේ තියාන හිටියා. උළුවස්‌සට හේත්තුවෙලා හිටිය හීන්මැණිකා, මේ පුංචිරාළගෙ නේත්තරා දෙක ඉස්‌සරහම සියාතුවගෙ හිස් පොල්කටුව අතට ගත්තෙ නැතෑ.
පුංචිරාළ එකපාරටම ඔළුව හෙලෙව්වා.
"මං මොනවා හිතනවද? මං දන්නෙ නෑ. ආයෙ එහෙම එකක් වෙන්ඩ බෑ. සියාතුවා ආයෙ නොසන්ඩාලයෙක්‌යෑ. මං නොදන්න එකෙක්‌යෑ. මං ඉන්නව කියල හිතානම යොත්ත ඉල්ලංඩ එන්ඩ ඇති. ඒත් ඉතිං මීට ඉස්‌සර නං එනව මට මතකයේ නෑ. සමහරවිට මං නැති අල්ලපනල්ලෙ ආපු පුරුද්දකට එනවද දන්නෙත් නෑ." පුංචිරාළට එක එක එව්වා හිතෙන්ඩ පටන් ගත්තා. පුංචිරාළට තමන්ගෙ කෙසඟ ඇඟ දිහා ආයෙත් බැලුණා. තට්‌ට හිස අතගෑවුණා. පපුව පිරිමැදුණා. අත බඩ දිගටම රූටල ගියා. සියාතුවගෙ ඇඟපත වාත්තු කෙරුව වාගෙ. හීන්මැණිකා පේන්ඩ හිටියෙ නෑ. පුංචිරාළ දැහැනින් මිදුණා. අව් විකාරෙට හිතෙන දේවල් නේද කියලත් හිතුණා.
"සියාතු මලේ ආං අටුකොනේ යොත්ත එල්ල තියෙනවා. ඇන්න පලයං. හදිස්‌සියක් නෑ. වැඩේ කරගෙන උදේ වරුවක ඇන්න වරෙං. උදේ වරුවෙ මාත් ඉන්නවනෙ" පුංචිරාළට කියවුණා.
"හොඳමයි පුංචිරාළ අයියෙ"
සියාතුවා අටුකොනේ එල්ලලා තිබ්බු යොත්ත ලිහනවා. ඒකාගෙ ඇස්‌බැල්ම කුස්‌සිය දිහාට වැටිල වාගෙයි පුංචිරාළට පෙනුනෙ. නෑ... එහෙම නෑ... පුංචිරාළට හිතුණා.
ඒ මට පේන හැටි. කොහොමත් යොත්ත උරේ තියාගත්තු සියාතුවා යන්න හැරුණා. හීන්මැණිකා දොර උළුවස්‌ස ගාව.
"සියාතු මලයා යන්ඩ වාගෙ"
"ඔව් අක්‌ක, මං දවසකින් දෙකකින් මේක ගෙනත් දෙන්නංකො. එනකොට මාළු ටිකකුත් ගේන්න බැරිය. වක්‌කලමේ මාළු පිරිල"
හීන්මැණිකා චීත්තපොටින් අතපිහදම දමා මිදුලට ආව. පුංචිරාළ ඇස් ලොකු කරගෙන දෙන්නගෙම මූණු මාරුවෙං මාරුවට බැලුව. එහෙම විසේසයක් පේන්ඩ නෑ කියල හිතුවා. ඒත් කියන්ඩ බෑ. ඉතිං ආයෙ මිදුලට ඇවිත් පේවෙන්ඩ ඕනැයි. සියාතුවා යනකං අහවල් එකකටැයි එළියට ආවෙ. කුස්‌සියෙ වැඩ නැතුවයෑ. පුංචිරාළට හිතුණා. මොකක් නමුත් විනම්බෑසියක් වෙන්ඩ යනවද කියල හිතුණ. සියාතුවා දෙවටින් නොපෙනී ගියා. පුංචිරාළට දිග ඈණුමක් ගියා.
"බඩගිනිත් ඇතුවා වෙන්ඩ ඇති. හෝන්දු මාන්දු වෙලා. අව් පූටකෙත් සැරයිනෙ. මං විගහට බත් ටික බෙදන්නං. ඇඟ හෝදගන ආවනං"
හීන්මැණිකා පුංචිරාළ දිහා බලල කීව. පුංචි එකා හීන්මැණිකාගේ රෙද්ද කොනහමින් සිටියා.
පුංචිරාළ හීන්මැණිකෙ දිහා බලල වම්උරේ තිබ්බ අමුඩ ලේන්සුව ගසා දමල දකුණු උරේට දාගත්තා.
"හ්ම්"
පුංචිරාළ මුවෙන් නොබැන ලණුව දෙපට කෙරුවා වාගේ වැව දිහාට පියමැන්නා.
අරකා ඉන්නකොට මෙලෝ සිහියක් නෑ. දැන් මං රවට්‌ටන්ඩද කොහෙද? ගෑනුංගෙ මායං කියනවනෙ. පය ඉක්‌මන් කරලා වැවට ගිය පුංචිරාළ අමුඩේ හිර කරගෙන මැරියං කියල හිතල වැවට පැනල ඔළුව වතුරේ ගහගෙන ගහගෙන ගියා.
පුංචිරාළ අමුඩේ ගසාදාලා පැළපොල් ගහේ කුඩා පොල් අත්තේ වනලා ගෙට ආවා. පිලපිට පැදුර එළල කුරුඅඩිය තියල ඒක උඩ මඩක්‌කුවට බත් බෙදල මාළුපිණිත් එක්‌ක. කැකිරි ඇඹුලයි මඤ්ෙඤාක්‌කා කොළ මැල්ලුමයි කරෝල බැදුමයි එක්‌ක පුංචිරාළගෙ හිතේ නොසන්සුන්කම අඩු වුණා. මං මේ විකාර හිතනවා. එහෙම දෙයක් නෑ. කොහොමත් අපේ එකීට තරම් උයන්ඩ - රහට උයන්ඩ එකියෙක් මේ පැත්තෙ නෑ. පුංචිරාළ ඇඟිලි ලෙවකන ගමන් හිතුවා. එහෙම තියනවනං මෙහෙම උයල පිහල දෙයියෑ.
"වතුර"
"තව ටිකක් වැක්‌කෙරුවනං"
"මොකද කතාබහ අඩු. ඇඟට අසක්‌කුවක්‌වත්ද? කීවනං වෙනිවැල්ගැට ටිකක්‌වත් තම්බන්ඩ"
එනව මෙතන වෙනිවැල්ගැට තම්බන්ඩ. දීපිය වහ ටිකක්. ගෑනුංගෙ මායං. අරකට හකුරුත් එක්‌ක රණවරා මට වෙනිවැල්ගැට දාපිය මගෙ බල්ලට.
"නැහ්... මේ ඉර මුදුන් පූටකේ හේනේ හිටිය. ඇඟට කඩුත්තුව වාගෙ"
"එහෙනං ටිකක් ඇලවෙනවා හොඳයි... නේද?" හීන් මැණිකා පිලපිට පැදුර එළාදුන්නා. මේ සේරම මං රවට්‌ටන්ඩ උප්පැරවැට්‌ටි. මට නොතේරෙනවයෑ. මං වයසට ගියාට මේකිට මං සැලකුවෙ නැතිද? ඇටෑදැටියා වෙන කොල්ලෙක් ඉන්නව කියල හිතකවත් නෑ. හ්ම්... පූරුවෙ කරුමයක් ද කොහෙද?
හීන් වැහි පොදක් වැටෙන්ඩ ගත්ත - දූවිලි මැකෙන්ඩත් එක්‌ක හොඳයි. දවල් තිබ්බ පෑවිල්ලත් එක්‌ක වැහිපොද අපූරුයි. රෑ පැල් යෑමත් පුංචිරාළගේ හිතට මොකක්‌දෝ වගෙ. අරකා එනව යනවද දන්නෙ නෑ. පැල් නොගියොත් තනියා හේන පාළු කරනවා සිකුරුයි. ගෙදර නොහිටියොත් සියාතුවා? පුංචිරාළගෙ රෑ බත්මුල ගෙනත් හීන්මැණිකා වතුර ලබ්බකුත් එක්‌ක ළඟින් තිබ්බා. පුංචි එකා බුලත් මල්ල සරිවරි කරලා ළඟට දුන්නා.
අනේ පුංචි එකා මොනා දන්නවද? පුංචිරාළ කොල්ලගෙ ඔළුව අතගෑවා. ඉරට්‌ටිය දකුණු කරටත්, බරබද්දල වම් අතටත් ගත්තා.
"සතා සරුපයා එන්ඩ පුළුවං. හොඳට දොරවල් වහල බුදියගනිල්ලා.
මං යනවා"
"හා... දෙයියන්ගෙ පිහිටයි"
දෙයියො. ඕං ඕකනේ, මිනිස්‌සු රවට්‌ටන්ඩ ගෑනුංගෙ වචන ටික ඇති. මායං. වෙන එකෙක් නං, ඇඟට පතට අමාරුත් එකේ අද ගෙදර නැවතුණොත් නරකද? තුන්සිය හැටපස් දවසම නැහෙන එකේ. එහෙම නෑ. බත්මුලයි - වතුර ලබ්බයි ඉස්‌සර කරලා අතේ තියනවා. මැරිල යනවට කැමති ඇති. පුළුවංනෙ එතකොට...
පුංචිරාළ හේනේ මං කඩුල්ලට කටුඅත්ත හිප්පලා හේනවටේ රවුමක් ගිහින් බැලුවා. ඇස්‌වහක් කටවහක් නෑ - කුරක්‌කන් ගෙඩි කුඹුක්‌ගෙඩි වාගෙ පිරිල. මුල් බෝග වැපිරිල්ල හීන්මැණිකගෙ අතින්නෙ - මේකිගෙ අත්ගුණේ... මගේ අම්මට ඒක පිහිටලා තියෙනවා. හැමතැනම වන්නි මිරිස් පලගෙන, කැකිරි වැල්වල මල්ගානෙ ගෙඩි. බලන්ඩ දුකේ බෑ. මඤ්ෙඤාක්‌කා කෑල්ල තමයි ඌරාගෙන් බේරාගන්ඩ බැරි. මුසාවක් නෑ පත අල. අතක් දිගට ඇති. පහළට වෙන්ඩ තියෙන මෙනේරි කැටිය යස අගේට පැහිල. ඉතිං නෑවිදිං කොහොමද? තනියා ආවොත් ඉවරයි. මං අහිතක් හිතන්ඩ හොඳ නෑ. ගෑනි මං මේකට නොඑව්වොත් අවුරුද්දක් වෙච්චි මහන්සිය ඉවරයි. කටේ පස් තමයි. පවුලක් නඩත්තු කොරන්නෙ කොහොමද? කොහොමත් මගේ ගෑනිනෙ. ඒකි මට තවමත් හිතේසිවන්තයි. අරකව මුලිච්චි උනහම තනියම පහදල දෙන්ට ඕනෑ. මලේ මේ වැඩේ හොඳ නෑ කියල.
ඒත් ඉතිං ඕක අහයිද? මාත් එක්‌ක සංඩු සරුවලේට පැටලුනොත් මුළු ගම මුළුවස්‌සං මේක පැතිරෙනව. අනෙ අම්මාපල්ල මට මොකද වෙන්නෙ. තුං හිතකින්වත් හිතපුවද මේ. පුංචිරාළට දෙකංසෙං දාඩිය දාගෙන ආවා. කං රත් වුණා. ඔළුව ගිනිගත්තා. මාරයා ආවේස වේගෙන එනවා වාගේ. ඉරට්‌ටිය ඇදලා ගත්තා. මං කම්මුතු වෙනවා. ඉරටියේ බටේ උගුරු දණ්‌ඩට තිබ්බා. පයේ මාපට ඇඟිල්ල කොකාට තිබ්බා.
"බර බරාස්"
පුංචිරාළගේ කල්පනාව වෙනස් වුණා. ඌරු රංචුව හේනට කඩා වැදිලා. ඉරට්‌ටිය පැත්තකට ගියා. රතිඤ්ඤක් පත්තු කරල වීසිකෙරුවා. හැත්ත පස්‌ස නොබලා කඩාගෙන දුවනවා ඇහුණා.
පුංචිරාළගෙ ඇඟපුරාම දාඩිය. ඕං වැහිඇල්ලෙං පස්‌සෙ ඌෂ්ණෙ වැඩිවෙල. පුංචිරාළ ඉරට්‌ටිය පැල් වහලේ එල්ලුවා. අප්පේ මං ඉක්‌මන් වෙච්චි හැටි - හොඳ නෑ... හොඳ නෑ...
මගෙ කොල්ල. මගේ ගෑණි. උන් පැළිල මැරෙයි. අප්පේ මං හිතාපු දෙයක්. උන් මෙලො දෙයක් දන්නවටද? ඉතිං මැරුන නං. නිකම්ම සියාතුවා අපේ ගෙදර. මං වාගෙ මීහරකෙක්. මේක හීංසීරුවෙ කතා කොරන්ඩ ඕනෑ. ඒත් එහෙම එකක් නැත්තං නිකං කොස්‌සක් ඇති කරගත්තා වෙනවා. කෝකටත් පුංචිරාළ විපරමින් තමයි හිටියෙ. උදේම, පුංචිරාළ කරුවලේ කරුවලේම පැල්මැස්‌සෙන් බැහැල ගෙදර යන්න පිටත් උනා. හරියට ඉරඑළිය මෝදුවෙලා නෑ. රෑ හඳේ දුබල එළිය මැකීයමින් තිබුණා. ගෙදර ඉඳිකඩ ළඟට එනකොට උදේම ගෙදර දොර ඇරිලා. සියාතුවා ඇරුණු දොරින් එළියට එනවා පුංචිරාළ දැක්‌කා.
"මං හිතුවා හරියට හරි'' පුංචිරාළගෙ කලවා ගැහෙන්ඩ ගත්තා. කොඳු නාරටිය දිගේ සීතලක් දැණුනා. කන් දෙක හෝ ගාලා පිඹිනවා. පපුව දොමෝලෙන් පිටිකොනවා වාගෙ. දත්මිටි කැවුණා. ඇස්‌ගෙඩි දෙක එළියට පනින්ඩ වාගෙ. අතේ තිබ්බ ලැබුකැටේ බිම වැටුණා.
ඉරට්‌ටිය දකුණු අතට ඇවිත් පැත්තට හිර උනා. ''සියාතුවෝ තොග කැවුතු කන්ඩ".
පළාතම දෙවනත් කරමින් වෙඩිල්ල පත්තු වුණා.
පුංචිරාළගෙ ඔළුව පැල්කණුවේ හයියෙං වැදුනා. ඒත් එක්‌කම ඇඟට දැනුණු හීතලෙන් ගිඩිස් ගාලා ඇහැරුණා.
"අම්මේ.. ඇඟ සහලෝල උණ. ඉර මුදුනකුත් වුණා. මං මේ තව නැතුවට උදේ හීල්පිහමනක් ඇරං ආවෙ. මගේ ඇඟට ලේ ඉණුවේ දැං. උඹලා යටිගිරියෙන් කෑ ගැහැව්වා. ඒකයි මං ඇඟට අත තියල හෙලෙව්වේ." හීන්මැණිකා කියාගෙන කියාගෙන ගියා. පුංචිරාළ ඇස් කරකවලා බැලුවා. ඉන්නෙ කොහෙද කියලා. හේනේ පැල්මැස්‌සෙ. හවහම පැල් මැස්‌සට නැගුණෙ ඇඟේ කෙඩෙත්තුවෙන්. උණ අරගෙන. උණ විකාරෙට දැක්‌ක උනත් හීනෙ හරිම නරකයි.
''මං හීනයක් දැක්‌කා.''
''උණ විකාරෙට වෙන්ඩ ඇති.''
පුංචිරාළ හීනෙ අගමුල මතක් කළා. තුං හිතකින්වත් හිතන්ඩ නාකයි. මගෙ අම්ම මට පිටුපාන්නෙ නෑ. පේනව නේද විස්‌කෝප වෙච්චි හැටි. අප්පේ සියාතුවා මගේ සහෝදරය වාගෙ. කොහොම මේ හීනේ පැටලුනාද? මනස්‌ගාත.
''මගෙ අම්ම හීන් සැරේ වැල් ඉණිමගේ බැස්‌සනං.''
හීන්මැණිකා ඉණිමගේ බහිනකං පුංචිරාළ උඩ උඳල ඉණිමග අල්ලගෙන හිටිය. පුංචිරාළ ඉරට්‌ටියත් අනෙක් ලට්‌ට ලොට්‌ටත් ඇරං හීං සීරුවේ බැස්‌සා. හීන්මැණිකා හේන දිහා අසාවෙං බලාන හිටිය.
"මයෙ පුතාලගෙ අප්පච්චිගෙ මහන්සිය හේනපුරාම තියෙනවා" හීන්මැණිකා පුංචිරාළගෙ උරහිස අතගෑවා.
"ඇඟ ගිනියං වෙලා. වෙදරාළ බාප්පගෙන් තැම්බුමක්‌වත් ගන්ඩ වෙයි."
"හා යමං". හීන්මැණිකා ඉස්‌සර උණා. පුංචිරාළගෙ හිතට ලොකු සැහැල්ලුවක් දැනුණා.
ගෙදර යනකොට පුංචි එකා ඈත ඉඳල දුවගෙන ඇවිත් ඇඟේ දැවටුණා.
පුංචිරාළගෙ හිතට, ඇනිච්ච කටුවක් ගලවපුවහම දැනෙන සනීපෙ දැනුණා.
ලක්‍ෂ්මන් කොඩිතුවක්‌කු
එය පොලිතින් දවටනයකට බෙදා පත්තර පිටුවකින් ඔතා තිබිණි. සාමාන්‍ය කඩේ විකුණන බත් පාර්සලයටත් වඩා තරමක් ලොකු වූ එය තැලී පොඩිවී තිබුණේ ඔහුගේ කිහිල්ලට තද වීමෙනි. ව්‍යංජන වශයෙන් කුඩා මාළු කෑල්ලක්, මැල්ලුමක්, බැදපු මිරිස් කරල් දෙක තුනක්, පොඟුණු පපඩමක් හා මේ දිනවල වෙළෙඳ පොලේ අඩු මිලට ඇති එළවළු වර්ග දෙකකින් එය සම්පූර්ණ වී තිබිණි. බිම එලූ පැදුර මත විවර වී වහල දෙස බලා ඉන්නා බත් මුලෙන් නැග එන පිළුණු ගඳ ඔහුගේ නාස් පුටු අතරට කා වැදුණද "ඔය දුගඳ අමතකර කර උඹලට ඔය බත්මුල කන්නට බැරිද යකෝ" යැයි කවුරුන් හෝ කියන්නා සේ ඔහුගේ සවන් අතරට කොහේදෝ සිට වැදුණේ ඈත සිට හමා එන උණුසුම් සුළං රැළි අතරිනි.
ඔහු බත්මුල ගෙන බිරිඳගේ අතට දුන්නේ සතුටු සිතිනි. මේ දින කිහිපයේම තරමක් කෝපානිග්නව කල්ගෙවූ බිරිඳගේ මුහුණ මන්දිස්‌මිතියෙන් කල එළි වූ අයුරු ඔහු දුටුවේය. එවේලේම ඇය දරුවන් දෙදෙනා සමඟ බත්මුල ගෙන වාඩිවූයේ කිරි බොන වයසේ දියනිය උකුලේ හොවාගෙනය. දරුවන් බත්මුල ලෙහන අතරේ ඇය හැට්‌ටයෙන් එළියට ගත් තනපුඩුව කිරි දරුවාගේ මුවට ළංකර එක් අතකින් හිරකරගත්තේ අනෙක් අතින් බත් මිටක් කටේ ඔබා ගැනීමේ බලාපොරොත්තුවෙනි. එහෙත් එක්‌වරම ආ පිළුණු ගඳින් නහය හකුලුවා ගත් ඇය අනෙක් දරුවන් දෙදෙනාගේ මුහුණු දෙස බලා බත් ගුලි දෙකක් අත රැඳි ඔවුන්ගේ අත්වලට ගසා එය වැළක්‌වූයේ ඔහුටද ආඩපාලි කියමිනි.
"මදෑ උදේ ඉඳන් බඩ ගින්දරේ ඉඳල බත් ටිකක් කන්න ගියා, තමුසේ කොහෙන්ද ඕයි මේ බත්මුල උස්‌සන් ආවේ. ගඳේ බෑ. උඹල එහෙම මේ දහජරාව කාල බඩේ අමාරු එහෙම හදාගන් නෑ ඕන්", එසේ කිවූ ඇය දරුවා ලොකු දියණියගේ අතට දී මල්ලක් අරන් මිදුලට බැස්‌සේ "මං ණයටවත් කොහෙන් හරි කළමනා ටිකක් අරන් එනකං හිටපල්ලා" කියමිනි. බැසයන හිරුගේ කිරණ කදම්බයන් පැල්පත ඇතුළට එබී බලන ආලෝකය තුළින් ඔහුට දරුවන්ගේ රූ පෙනුනේය. නිහඬව දරුවන් දෙස බලා සිටි ඔහුට කිරි නැතිව අඬන කුඩා දියණිය නලවා ගන්නට වෙහෙසන ලොකු දියණියගේ නැලවිලි ගීයට කන්දුන්නේය.
ඔන්න බබෝ ඇතින්නියා - ගල් අරණේ සිටින්නියා
ගලින් ගලට පනින්නියා - බබුට බයේ දුවන්නියා
ඔහු එයට සවන් දීගෙනම බත් මුල දෙස නැවත බැලුවේය. බත්මුල එහි තිබූ පත්තර පිටුව විවර වී පෙනෙන පළල් වූ දිගු මුද්‍රිත අකුරු ඔහුගේ නෙතු අසළ නතර වූයේ නිරායාසයෙනි. "අද අපේ රට සහලින් ස්‌වයංපෝෂිතයි" එය හිමිහිට මිමුණු ඔහු කටු මැටි බිත්තියේ හැංගී සිටි හූනෙකුගේ "චුක් චුක්" ගා නැගෙන හඬට කන් දුන්නේ ඊට පහලින් ඇති බොඳවූ කුඩා අකුරුද කියවන්නට උත්සහ කරමිනි. දැලක් මෙන් ඇස්‌වල පැටලී ඇති දුර්වල පෙනුම එයට බාධාවක් වූ හෙයින් ඔහු මිදුලට බැස අහස දෙස බැලුවේය. දියණිය කුඩා දියණිය නලවා ගැනීමේ වෑයම සාර්ථක වී ඇති අයුරු ඔහුට දැනුනේ ඇඬීම නැවතුනද නැලවිලි ගීය නොනැවතී ගලා යන අයුරු සවනට වැකීමෙනි.
උදේ සිට සවස් වනතුරුම සවනට වැදුණු ඝෝෂාවන්, කටේ කෙළ හිඳෙනතුරු කෑ ගැසූ නිසා සිරුරට දැනෙන පීඩාවත් එම නැලවිලි ගී රස තුළින් මකා ගන්නට උත්සාහ දැරූ ඔහු මිදුලේ ඇති ගල්කණ්‌ඩිය උඩ වාඩිවී වළාකුළු දෙස බලා උන්නේය. හිමිදිරියේම පොත් විකුණන රැකියාවට යෑමට මිදුලට බසින්නට සූදානම් වූ ඔහුගේ ගමන අහසේ හෙණ හඬ පුපුරමින් ගුගුරා නතර කළේ මහ වැස්‌සක් බිමට පතිත කරමිනි. කුඩා කල පොත් මිටිය ගෙන පාසල් ගිය ඔහුට නැවත පොත් මිටි තුරුලට ගන්නට සිදුවූයේ අනපේක්‍ෂිත ලෙස රැකියාව අහිමිවීම නිසාය. පොත් සාප්පුවලට ගොස් ණයට පොත් ගෙන මහපාරේ යන බස්‌වල නැඟ විකුණන ඔහු සවසට ගණුදෙනු පියවා ලැබෙන වට්‌ටම් මුදලින් දරු පවුල ජීවත් කරවන්නට මහන්සි ගත්තේ තමාගේ ජීවිතයට එය ස්‌ථිර රැකියාවක් බවට පත්කරමිනි. එහෙත් සමහර දිනවල දැඩි හිරු අව්වේ කෙතරම් මහන්සි වුවද ගතමනාවක් සොයාගන්නට බැරිවිට ඔහුගේ සිතට දුකක් ගෙන දෙන්නේය. එදිනම ලැබෙන සොච්චම් මුදලින් පාන් ගෙඩියක් හොද්දක් අතේ එල්ලාගෙන ඔහු ඉතිරි මුදල ඇඟිලි තුඩින් ගණින්නේ බස් ගාස්‌තු පියවා ගැනීමටය. ඉඳහිට වාසියක් වූද, ඔහු හාල්, පොල් මෙන්ම දරුවන්ට ටොෆි විස්‌කෝතුද මිලදී ගෙන මධුවිතක් තොල ගෑමටද අමතක කරන්නේ නැත.
"ආ මෙන්න අම්මේ තාත්තේ, නෝනලා මහත්තයලා, අද මගෙන් අලුත්ම පොත් ටිකක්, මෙන්න රටේ ඉතිහාසය කාශ්‍යප රජතුමා ගැන අලුත්ම පොතක්, පිට වුණා විතරයි. කාශ්‍යප රඡ්ජුරුවො සීගිරිය හැදුවේ, සීගිරිගල උඩට වතුර ගත්තේ මොරටු කැම්පස් ගිහිල්ලද නැහැ.... එතකොට ගල්වල සිතුවම් ඇන්ඳ චිත්‍ර ශිල්පියෝ චිත්‍ර ඇන්දේ හේවුඩ් ගිහිල්ලද.... නැහැ. ඉතිහාසෙ ගැන දැනගන්න ඔබේ දරුවාට මල් පහේ පොතක්, මෙන්න තව පොතක් ශිෂ්‍යත්ව ජය කණුව... ලොකු ඉස්‌කෝලවලට පොරකන පොඩි මිනිස්‌සුන්ගේ ජය කණුව රුපියල් සීයයි. කඩේ දෙසීයයි, තුන්සීයයි කියන පොත් මා ළඟ ලාභයි හෙට නැහැ අද විතරයි අදම ගෙදර අරන් යන්න." ඔහු ඔහුටම ආවේනික වූ වචන ගොන්නකින් බසයේ මගීන් අමතයි.
"මෙන්න මහා පරාක්‍රමබාහු රජතුමා ගැන තව පොතක්. රුපියල් එකසිය පනහයි... වැව් දාගැබ් බැඳලා, රට ස්‌වයංපෝෂිත කරපු රජවරුන්ගේ ඉතිහාසය. මෙන්න ශ්‍රේෂ්ඨ රුසියානු නවකතා මැක්‌සිම් ගෝර්කි මහත්තයගේ මිනිසෙකුගේ උපත, විපත ද උතුම්, උපතද උතුම්. මෙන්න මහල්ලාද දිනන්නේ, මාළුවාද දිනන්නේ, ලෝක ප්‍රකට පොතක් හොමිංවේගේ මහල්ලා සහ මුහුද, ලෝක සාහිත්‍යය සිංහලෙන්. මා ළඟ විතරයි. මෙන්න තව එකක් උදේ ඉඳන් රෑ වෙනකං සුපර් ස්‌ටාර්ල වෙන්න දඟලන අපේ දරුවන්ට සිංහලේ රබන් පද." ඔහු රබන් පද දෙක තුනක් ගයා අල්ලේ තබාගෙන තව පොතක් පෙන්වයි.
නාවර පෙරන හොටු - ඇඳ නෙක වැරහැලි කිළුටු
කැහැටු දරුවන් සිටිත් - මුඩුක්‌කුවේ දොරකඩට විත්
ඔහු ප්‍රබුද්ධ පොත පෙරළා ඇස ගැටුණු පිටුවක නිසස් කණ්‌ඩයක් කියවයි. සමහරෙක් අප්‍රියාවෙන් මෙන් ඔහු දෙස බලා මුහුණු හකුළුවා ගන්නේ බසයේ වීදුරු කවුළුවෙන් පාර දිහා බලමිනි. ඔහුට එහි වගක් නැත. "මහගම සේකර මහත්තයගේ අදටත් ගැලපෙන පොතක්, ලාභයි දරුවන්ට ගිහිල්ල දෙන්න".
එම බසයෙන් බැස තව බසයකට ගොඩවෙන ඔහු නැවත පොත්වල වරුණාව පටන් ගන්නේ ලොකු හුස්‌මක් ගනිමිනි. කිසි දිනෙක පොත් සම්පූර්ණයෙන් නොකියවන ඔහු ඒවායේ තැන් තැන්වලින් අහුලාගත් කෑලිවලින් මිලදී ගන්නන්ගේ ආකර්ශණය ලබාගැනීමට උත්සාගන්නේ හැකි පමණින් පොත් විකුණාගැනීමටය.
එහෙත් වැස්‌ස හරස්‌වීමෙන් අද දින සිදුවූ අලකලංචිය පිළිබඳ ඔහු කම්පාවට පත්වී ඇත්තේය. වැහි වළාකුළුවලින් ගැබ්බර වූ අහස තම කුස සැහැල්ලු කළද, තමාගේ හිසට පාත්වූ බර පිළිබඳව ඔහු නැවත නැවත මෙනෙහි කළේය. අත් හකුළුවාගෙන අහස දෙස බලා ඔහු හීල්ලුවේ වැස්‌ස ඉක්‌මණින් නතර වේවායි යන අදහසිනි. එහෙත් නොනැවතුණු වැස්‌සේම මඟට බසින්නට සිතුණේ කෙසේ හෝ පොත් ටිකක් විකුණා අද දවසටවත් කීයක් හෝ හරිහම්බ කර ගැනීමේ අදහසිනි.
"අද කොහොමද? විල්සන් පොත් විකුණන්නේ. බලනවකෝ අනෝරා වැස්‌ස පොත් තෙමුණම ඒවට තමුසෙට ගෙවන්න පුළුවන්ද? අනෙක මේ වැස්‌සෙ මිනිස්‌සුන්ට මොන පොත්ද?"
"ඒක තමයි මහත්තයෝ මමත් මේ කල්පනා කළේ. අද කොහොමහරි ගතමනාවක් හොයාගන්න ඕනෙ නිසයි ආවේ. කමක් නැහැ. මං යන්නං හෙට වැස්‌ස පෑව්වොත් එන්නංකෝ".
නිහඬව තමා දෙස බලා සිටිනා පොත් සාප්පු අයිතිකරුට එසේ පැවසූ ඔහු අතේ ඇති ඉටිරෙද්දෙන් ඔලුව වසාගෙන නැවත වැස්‌සේම එළියට බැස්‌සේය. අරමුණක් නොමැති ඔහුගේ චංචල සිත ඔහුව බස් නැවතුමක නතර කළේය. යාන්තම් තුරල් වී ගෙන එන වැස්‌ස දෙස බලමින් ඔහු සුසුමක් පිට කළේය. ඒ සමඟම ඈතින් ඇදීඑන ජන ගඟත් මහා ඝෝෂාවත් ඔහුගේ අසරණ සිත පුදුමයට පත් කළේය.
"කාගෙද මේ බලවේගේ අපෙ මැතිඳුගේ බලවේගේ". "අපි මැතිඳුට - මැතිඳු අපිට - අපේ මැතිඳුට ජය වේවා".
ඔහු එම පෙළපාළිය පිටුපසින් ගමන් කළේ නැත. එම අරමුණක් නැති සිතම ඔහුව ඒ පසුපස ගමන් කෙරෙව්වේය. පෙළපාලියේ ගමන් කරන ගැහැණු පිරිමි මිනිස් රූප අතරින් ඔහු දුටුවේ ඉදිරියේම ගමන් කරන සුදු ඇඳගත් පාංශුදේහධාරී තලතුනා මිනිසෙකි. කිසිවක් නොකියවන ව්‍යාජ සිනාවක් මවාගෙන දෙපසට අත වනන ඔහු මේ ජනයා ඉදිරියේ දෙවියෙක් බවට පත්වී ඇත්තේ ඔහුටත් අදහාගත නොහැකි අයුරිනි. ඔහු ප්‍රබුද්ධ කවිපොතේ කවි පංතිය සිහියට නඟා ගැන්මට උත්සහ කළේය. ඇට පෑදුණු නාවර පෙරා නොගත්තද, ඉහෙන් කණින් දාඩිය පෙරාගත් වැරහිලි නොඇන්ඳද සිතුම් පැතුම් වැරහැලි කරගත් ජනයා ඔහු පිටුපස ගමන් කරන්නේ දහසක් බලාපොරොත්තු පොදි බඳිමින් බව ඔහු පසක් කරගත්තේය. එහෙත් ඔහුට නැවත හැරෙන්නට නොහැක. ඔහු පිටුපසින් තවත් ජනයා ඒ පෙළපාලියට එකතුවන්නේ ජන ඝෝෂාව නැවත නැවත පුනුරුච්චාරණය කරමිනි. ඔහු ඉදිරියට යන්නේ නැවත පෙළපාලියේ පිටුපස බලමිනි.
"මොකද ඕයි ගල් බිල්ලවගේ කටවහගෙන යන්නේ. කෑගහනවා. කෑ ගැහැව්වට පාඩු වෙන්නෙ නැහැ".
කඩින් කඩ හැලෙන මඳ වැස්‌ස නොසළකා තෙත බරිත වූ මිනිසුන් අතරින් මතුවූ ගැහැණියක් තමා අසළට කෑගසමින් කඩා පාත්වූයේ ඔහුව බිරාන්ත කරමිනි.
බසයේදී පොත් විකුණන විට පිටවෙන හඬ ඔහුගෙන් පිට නොවූයේය. "හයියෙන් කෑගහල කියනව ඕයි. පක්‍ෂයක් පාටක් මොකටද බත් මුලකටයි රුපියල් දෙසීයකටයි". ඔහු නැවත හයියෙන් කෑ ගැසුවේය. ගැහැණියගේ කටහඬ ඔහුගේ හඬ අභිබවා ගියේය.
"තියෙන පිටි ටිකෙන් තමයි යක්‌කුනේ මං ඔය රොටි දෙක තුන හැදුවේ. කන්නම දෙයක් නැත්නං මාව මරාගෙන කාහල්ල... මේකි පපුවේ එල්ලිලා කිරි හොයනවා. උඹලට මදිවෙල දඟලනවා. සොහොන් පළේ ඇට තමයි කන්න තියෙන්නේ".
අද උදයේ තමන්ගේ මූණ නොබලා බිරිඳ දෙසූ ආඩපාලි වදන් එම ගැහැණියගේ හඬ ඡේදනය වී ඔහුට ඇසෙන්නට විය.
"බස් නැති පාරට බස්‌දුන් පියාට ජයවේවා" ඔහු නැවත කෑගසුවේය. තමන්ගේ ජීවිතය පිළිබඳව ඔහුට මහත් කළකිරීමක් දැනෙන්නට විය. රැකියාව අහිමි වී පාරට වැටුනු අතීතයට ගිය ඔහුගේ හිතට එදිනටත් වඩා දැනුණු කළකිරීමෙන් ඔහුගේ දැසට කඳුලක් මැතුවූයේය. කිසිම දිනෙක දේශපාලකයකු පිටුපස නොගිය ඔහුගේ පායුග පෙළපාලිය සමඟ ඉදිරියට ඇදුනේ ඔහුටත් නොකියාමය. ලයිට් කණුවක වසා සිටි කපුටෙක් "කාක් කාක්" කියා පියඹා යන හැටි ඔහු බලාසිටියේය තොරතෝංචියක් නැතිව කෑගසන මිනිසුන්ගේ හඬට බියවී ඉගිලී යන කපුටා දෙස බලා සිටි ඔහු නැවත කෑගසන්නට පටන් ගත්තේය.
පෙළපාළිය හමාර වී පෝලිමේ වරුවක් සිට ලබාගත් බත් මුල ඔහු කිහිල්ලට තද කරගත්තේය. ඇසිපිය නොහෙළා බත්මුල් බෙදන මිනිසා දෙස ඔහුද ඇසිපිය නොහෙළා බලා සිටියේය.
"මොකද, ඕයි බලන් ඉන්නෙ... එක බත් මුලයි එක් කෙනෙකුට" ගොත ගසමින් යමක් කීමට වෙහෙසුණු ඔහුට පෙර මිනිසා ඉක්‌මන් වූයේය.
"රුපියල් දෙසීයද... ඒක දෙන්න විදිහක් නැහැ. සල්ලි දෙන්න හිටිය මුදලාලිට අනෙක් පැත්තෙ එවුන් වෙඩි තියලා.... මන්ත්‍රීතුමා කිව්වා ඊළඟ පෙළපාළියේ දී දෙන්නං කියලා".
ඔහු සෙනඟ අතරින් තෙරපී පාරට බැස්‌සේය, පොතකත්, කෑම වේලකත් රසය ඔහුගේ සිතේ අහුමුලුවල හැංගී ඔච්චම් කරන්නට විය.
"බඩගින්නෙ ඉන්න මිනිහට මොන පොත්ද ඕයි. පොත් කියවන්නත් බඩ පිරෙන්න එපායැ" දිනක බසයේදී පොත් විකුණනවිට ඇඟට ගොඩවුණු බීමත් මගියාගේ වදන් ඔහුගේ සිත පිළිසකර කිරීමට වෙහෙස ගත්තේය. කිසිදිනෙක බසයක හොරෙන් ගමන් නොකළ ඔහු සෙනඟ අතරට සිරවී හොරෙන් යන්නට අණ ලැබුණු සිතට සාප කළේය. ක්‍රම ක්‍රමයෙන් වෙනස්‌වෙන මනසෙන් සිතට දුන් වේදනාව සමඟින් ඔහු ගෙදර දෙස හැරී පැදුර උඩ මත සැතපී සිටිනා බත් මුල දෙස නැවත බැලුවේය. කොහෙන්දෝ සිට ආ බළල් තඩියෙක් එහි රස බලයි. කැහැටු ගැහුණු බළල් තඩියා රස කරමින් කන බත්මුල දුටු ඔහුගේ සිතට කෝපයක් උපන්නේ නිතැතිවමය. කුසගින්නත් සමඟ නැඟි කෝපය සමඟ ඔහු බළල් තඩියා දෙසට පැන්නේය.
"කොච්චර අමාරුවෙන් ද යකෝ මං ඔය බත් මුල අරගත්තේ" ඔහුට හිතට ආ ආවේගය සම්පූර්ණ කරන්නට ලැබුනේ නැත. පය පැකිලී බිම වැටුණේය.
අලුත් මල්කඩුවාවේ ගාමිණී ඒකනායක
කාර්යාලයට පැමිණ සැප පුටුවේ හරිබරි ගැසී දිනපතා පුවත්පත් බැලීමට යුහුසුළු වූ ඇමතිතුමාට ප්‍රථමයෙන්ම නෙත ගැටුණ ප්‍රවෘත්තිය බාගෙට කියවූ සැණින්ම අසූහාරදාහට නැග්ගේය.
" මේ එක කාලකණ්‌ණියෙක්‌වත් මට නිකමට කීවේ නැහැනෙ මෙහෙම සිද්ධියක්. පත්තර කාරයෙක් කියන කල්ම මුං නිදි වැදිල හිටියද මංද. ආසනේත් ඉන්නව බැල්ලිගෙ පුතාල ටිකක්. මුං සේරම බුදි....."
උදේ පාන්දරින්ම ඇමැතිතුමාගේ ගෝරනාඩුවෙන් වික්‍ෂිප්ත වූ සේවකයා බියෙන් බියෙන් තේවතුර ට්‍රොලිය ඇමැතිතුමාට කිට්‌ටු කළේය.
"ඔය කෙහෙල්මල අහකට දාල එන්ට කියනවා ලේකම්ට...."
අමාත්‍යාංශ ලේකම්තුමා වහ වහා ඇමතිතුමාගේ කාර්යාලයට ඇතුළු විය. කෝපාවිෂ්ට වූ ඇමතිතුමාගේ ස්‌වරූපය දැකීමෙන් තිගැස්‌සුණ ලේකම්තුමා එකත් පස්‌ව හිට ගත්තේය.
"බලනවා තමුසෙලා බුදිද ඕයි..... පත්තර බලන්නැද්ද. ඒකත් මම්ම කියනකල් බලාගන ඉන්නවා. බලනවා මේ පොටෝ එක. පළාතෙ බලවතෙක් විදියට මගෙ පටි රෝල්නෙ දැං..... දවසක් දෙකක් ඇතුළත මේකට ඉක්‌මන් විසඳුමක් දෙනවා" ඇමතිතුමා ලේකම් තුමා වෙත පත්තරය වීසි කළේය. මේසය දිගේ රූටා ගොස් බිමට වැටුණ පත්තරය අහුලාගත් ලේකම්තුමා ප්‍රවෘත්තිය කියවන්නට විය. ඉහළ පෙළේ රාජකාරියක් කළ විශ්‍රාමික වයෝවෘධ කාන්තාවක් අසරණව බල්ලන් බළලුන් සමග අගුපිලක සිටින ප්‍රවෘත්තියක් ඡායාරූපයක් සමග විය. ලේකම්තුමා ඡායාරූපය දෙසත් ඇමතිතුමා දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේය.
"මොනවද ඕයි කල්පනා කරන්නෙ. මොනව හරි ඉක්‌මනට කරනවා මේකට...."
" සර් මේක අපේ විෂය පථයට අයිති නැහැනෙ සර්.."
"මොන විෂය පථයද ඕයි... පත්තර කාරයො ගහන්නෙ මටනෙ....
අනික තමුසේ දන්නවනෙ ලිස්‌ට් එකේ පල්ලෙහා ඉඳල තමුසෙ උඩට අරං ලේකම් කමක් දුන්නේ විෂය පථයෙ වැඩ විතරක් කරන්ට නෙමේ. යනවා යනවා." ඇමැතිතුමාගේ දෑත් පිරිවරාගත් රත්රන් මුදු විදුලි එළියෙන් දිලිසි දිලිසි ලේකම්තුමාගේ මුහුණට විටින් විට වැදුණි.
මේක හරි මගුලක්‌නෙ. මිනිහෙක් හිඟා කෑවත් මම වග කියන්ට ඕනෑ. ආපු මෝඩකම මේවට. ඒත් ඉතිං මොනව කරන්ඩද... දාල ගිහිනුත් බෑනෙ. මේ ටිකේ ඇති පදං පිට රට සවාරි කියක් ගැහුවද. යාන වාහන, නම්බුව සේරම ඉවරයි දාල ගියොත්. කාගන ඉන්නව ඔහේ.... ලේකම් තුමා තමන්ටම කියා ගත්තේය.
උදේ පාන්දරම ඇමැතිතුමාගේ ගෝරනාඩුවෙන් හෙම්බත් වූ ලේකම්තුමා කාර්යාලයට පැමිණ සැප පුටුවේ අසුන්ගෙන මහා දිග සුසුමක් හැරියේය. අද දවසෙ කරන්ට ආව වැඩ සේරම අප්සෙට් උනා මේ කෙහෙල්මලක් හිංද....?
ඔහු තමාටම කියා ගත්තේය.
"වීරසිංහ මෙහාට එනවා..." ඔහු සේවකයාට කෑගැසුවේ විදුලි සීනුවද අමතක කරමිනි.
"එන්ට කියනවා අතිරේක ලේකම්ට"
නිශ්චිත කරුණක් නොමැති වුවත් අදාළ විෂයන් අනුමාන කළ අතිරේක ලේකම්, ලිපි ගොනු කීපයක් සමගින්ම ලේකම්වරයා ඉදිරියේ පෙනී සිටියේය.
"බලනවා අයිසෙ.. අද මට පිස්‌සු හැදිල තියෙන්නෙ."
"මෙන්න මේ පත්තරේ පොටෝ එකක් දැකල අර යකා මාව කන්ට හදනවා. පැන්ෂන් ගියපු වයසක ගැහැනු කෙනෙක් අගු පිලක ඉන්නවා කියලා. එයාගෙ පළාතෙ උනාට අපි මොනවා කරන්ටද?"
පත්තරය අතට ගත් අතිරේක ලේකම් සාවධානව කීප සැරයක් කියවා බැලුවේය.
"සර් මේකට අපි වග කියන්නෙ මොකටද.. අපේ ජොබ් ලිස්‌ට් එකට මේව දාල නැහැ. ඒ හින්ද කෑ ගැහුවට කරන්ට දෙයක් නැහැ."
"එහෙම කියල බෑ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් මුණගැහිල මේකට ඉක්‌මනට පියවරක් ගන්නවා...." යටහත් පහත් ලෙස කාමරයෙන් ඉවත් වු අතිරේක ලේකම්වරයා කාර්යාලයට වැදී ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් කැඳවීය.
"අමරතුංග, මේ පත්තරේ දාල තියනවා. වයසක කාන්තාවක් අගු පිලක ඉන්නවා කියලා. ඇමතිතුමාට කේන්ති ගිහිං තියෙන හිංද ලේකම් කීව ඉක්‌මනින් මොනව හරි කරන්ට කියලා."
හරි බරි ගැසී වාඩි වූ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පත්තර ප්‍රවෘත්තිය හොද හැටි කියවා බැලුවේය. "මේක සර් අපිට අත ගහන්ට පුළුවන් කේස් එකක් නෙමේ. අනික මේක අපේ විෂය පථයට අදාළ නැහැ. අනික ඔඩිට් එකෙන් නැති ලෙඩක් වැටෙනවා."
ඔය නෑ බෑ නොකියා මොනව හරි කරන්ට බලනවකො...."
"අනේ මංද සර් මට නං තේරෙන් නෑ. මේවට උත්තර බඳින්ට වෙන්නෙ මේවට මැදි වෙන මිනිස්‌සුන්ට." ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පුවත් පත ගෙන හිස කසමින් කාර්යාලයෙන් පිට විය.
"අනුර මෙහාට එන්ඩකො පොඩි වැඩකට....." ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සහකාර ලේකම්වරයාට කථා කළේය. සහකාර ලේකම් සුපුරුදු සිනහවෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ ඉදිරියේ වාඩි ගත්තේය.
" ඇයි සර්"
"අනේ බලනවා අනුර... මේ පත්තරේ කියවන්ටකො.... මේකට අපට ඉක්‌මනට ඇක්‌ෂන් එකක් ගන්ට කීවා..."
පත්තර ප්‍රවෘත්තිය කියවූ සහකාර ලේකම්ට මහ හයියෙන් සිනා පහල විය. " මේක සර් අපේ රාජකාරී විෂය පථයෙ කොහෙවත් නෑනේ.."
"ඒකනෙ මමත් කීවේ.... කීවට මේ යක්‌කු අපිවමනෙ කන්ට හදන්නෙ"
" මේක සර් මම ප්‍රාදේශීය ලේකම්ටවත් කියල බලන්නම්"
දැන්වීමෙන් මාස කීපයකට පසු පුවත් පත් වාර්තාවත් සමග ලිපියක් ඇමතිතුමාගේ සහකාර ලේකම් ප්‍රාදේශීය ලේකම් වෙත යොමු කර තිබිණි. ලිපිය කියවා බැලූ ප්‍රාදේශීය ලේකම්ට යකා නැග්ගේය. "මොන කෙහෙල්මලක්‌ද මේ එහෙනං ඉතිං පාරෙ ඉන්න හිඟන්නො සේරම චෙක් කරල බලන්ට වෙයි. මට මේ තියන වැඩ ටික කරන්ටත් වෙලාවක් නෑ. අනික අපේ විෂය පථයෙ මේවට ප්‍රතිපාදනත් නෑ."
ටි්‍රං.... විදුලි සීනුව නාදවීමෙන් දිවගෙන ආ සේවකයාට පරිපාලන නිලධාරී ඉක්‌මනින් හමුවන ලෙස දැන්වීය.
"මෙතන කේස් එකක් තියනවා. මේකට අපට කරන්ට දෙයක් නෑ. පිං පඩි දෙන්ටත් බෑ. විශ්‍රාම වැටුප තියෙන හින්දා. කොළඹ මිනිස්‌සු නං කියයි අපිනෙ දන්නෙ අපේ ප්‍රශ්න.
පත්තරය කියවා බැලූ පරිපාලන නිලධාරියා,
"සර් මේක අපිට අයිති නෑ. මේක අයිති වෙන ආයතන කීපයකට. ඒවට දන්වන්ට කියන්ඩ වෙයි."
"ඒක ඇත්ත.... එහෙනම් ග්‍රාම නිලධාරී ලවා හරි විස්‌තර ලිපිනය දැනගෙන මට එවන්ට...."
"හොඳයි සර්"
දින කීපයකට පසු බදාදා කාර්යාල දිනයේදී වසම භාර ග්‍රාම නිලධාරී මුණ ගැසුණ පරිපාලන නිලධාරිවරයා පුවත් පත ලබා දුන්නේය. පුවත් පතේ විස්‌තරය හොඳින් කියවූ ග්‍රාම නිලධාරී හිස කසමින් කල්පනා කළේය.
"මහත්තයා මෙහෙම අය ඕනෑ තරං ඉන්නවා
අපි කොහොමද දන්නෙ කව්ද කියලා.. මම හොයල බලල
විස්‌තර ලියල දෙන්නං හැබැයි සර්ට හින්ද කරනවා.
මොකද මගෙ රාජකාරී විෂය පථයෙ මේව කරන්ට කියලා නෑ."
"හරි හරි ඔයා මං වෙනුවෙං මේ වැඩේ කරනවකො..."
"අනේ මංද ලෙඩ තමයි...." මුවින් නොබැන මෝටර් සයිකලයෙන් ඉගිල යන ග්‍රාම නිලධාරී දෙස මොහොතක් වෙලා බලා සිටියේය.
"ඇත්ත තමයි මිනිහගෙ විෂය පථයට නැති හිංද බල කරන්ටත් බෑ ඉතිං..."
මාසයකට පමණ පසු සියලු විස්‌තර වාර්තාව ග්‍රාම නිලධාරී විසින් පරිපාලන නිලධාරියාට භාර දුන්නේය. මේ පිළිබඳව කටයුතු කිරීම සඳහා පහත සඳහන් ආයතනවලට දැන්වීම සුදුසු බවට ප්‍රාදේශීය ලේකම් විසින් අමාත්‍යාංශ සහකාර ලේකම් වෙත දන්වන ලදුව සහකාර ලේකම් නිර්දේශය සමග ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වෙතද ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්ගේ නිර්දේශ සහිතව අතිරේක ලේකම් වෙතද අතිරේක ලේකම්ගේ නිර්දේශය සහිතව ලේකම් වෙතද දන්වන ලදී. පසුව ලේකම්වරයා විසින් එම කාරණය ලිපියේ සඳහන් කර තිබූ ආයතන සියල්ල වෙත දන්වන ලදී.
මාස කීපයකට පසු පුවත් පත් වාර්තාවක් කියවු ඇමතිතුමාට කෝපය සර්වාංගයෙන්ම පිට වෙන්නට විය. ඔහුට කෝපය දරා ගත නොහැකිව ලේකම් කාර්යාලයට කඩාගෙන පැන්නේය.
" මේ බලනවා මේක ආයෙත් පත්තරේ දාල මාව නැති කරලනෙ. තමුසෙලා කිසි දෙයක් කරල නැහැනේ. එක්‌කො මං යන්ට ඕනෑ. එක්‌කො තමුසෙල යන්ට ඕනෑ. මගෙ ප්‍රෙෂර් එකත් වැඩිවුණා මේ මඟුලක් හිංද ... යන්ඩ ලෑස්‌ති වෙනවා. අදම මේක ඉවරයක් කරන්ට..". ලේකම් වෙත පත්තරය විසිකර දැමූ ඇමතිතුමා මොන මොනවදෝ කියමින් පිටව ගියේය.
විදේශීය නිලධාරීන් කණ්‌ඩායමක් සමග වැදගත් සාකච්ඡාවක හිරවී සිටි ලේකම්වරයා ඇමතිතුමාගේ කඩා පැනීමෙන් මහත් අසරණ විය. එහෙත් ඒ බවක් විදේශිකයන්ට නොඇඟවීමට ඔහු වග බලා ගත්තේය. තුෂ්ණීම්භූත වූ විදේශිකයෝ මීයට පිම්බක් මෙන් බිරාන්තව ලේකම්වරයා දෙස බලා සිටියහ.
"වට්‌හැපන්" (මොකද උනේ)
"නෝ නෝ අයි වෝස් ඇප්රිෂියේටඩ් බයි. හිම්. (එයා මාව අගය කළා)
රැස්‌වීම කෙටියෙන්ම නිම කළ ලේකම්වරයා සියලුම විධායක නිලධාරීන්ට ගමනට සූදානම් වන ලෙස දන්වන ලදී. ලහි ලහියේ සූදානම් වූ නිලධාරීන්ද ඉක්‌මන් විසඳුමක් ලබා දීමට අවශ්‍ය සියල්ල සූදානම් කරගත්හ.
පත්තරේ සඳහන් ස්‌ථානයට රථ පෙළ ළඟා වන විට හොඳටෝම හවස් වී තිබිණි. ඇමතිතුමාගේ සම්ප්‍රාප්තිය දැන ගත් ප්‍රාදේශීය ලේකම්වරයා සහායක නිලධාරීන් පිරිවරා පැමිණ සිටීම අනෙකුත් අයට මහත් පහසුවක් විය.
"කොතනද ඉන්නෙ.... කව්ද" ජීප් රථයෙන් බැසගත් ඇමතිතුමා කෑගැසුවේය. ඉහළ පහළ ආරක්‍ෂක නිලධාරීන් විශාල පිරිසක් චට පට ගසමින් සීරුවෙන් ආචාර කළහ.
" සර් මෙතන තමයි තැන. ප්‍රාදේශීය ලේකම්වරයා අගු පිලක් වැනි කළුවර කාමරයක් පෙන්විය. සියලුම දෙනා නාසය වසා ගනිමින් කාමරයට එබී බැලූහ. වැරහැලි කීපයක් හිස් ටිං කීපයක් හැරෙන්ට වෙනත් කිසිවක් එහි නොතිබිණි. කාමරය වටා සිටි බලු රංචුවක් කලබලවී බුරන්නට පටන් ගත්තේය. ග්‍රාම නිලධාරී පොල්ලක් ගෙන බලුරැල එලවා දැමීමට මහත් උත්සාහයක් ගත්තේය. අඳුරු කාමරයේ බිම වැටී තිබූ ලිපි කීපයක් අහුලා ගත් ලේකම්තුමා කියවා බලා ඔලුවේ අත ගසා ගත්තේය. ඒවා තමා විසින් දන්වන ලද ආයතනවලින් එවන ලද පිළිතුරු ලිපි ගොන්නකි. ඒවායේ බොහොමයක් දක්‌වා තිබුණේ තම ආයතනයේ විෂය පථයට අයිති නොවන බවත් එහෙත් විශේෂ ප්‍රතිපාදන ලැබෙන්නේ නම් පමණක් සලකා බැලිය හැකි බවත්ය. ලේකම්වරයා වට පිට බලා ලිපි සියල්ල ඇමතිතුමාට හොරෙන් සාක්‌කුවට දාගත්තේ දැන ගත්තොත් ශුද්ධ සිංහලෙන්ම අහන්ට වෙන නිසාය.
"සර් මේ අහල පහල අය අද උදේ කීවා මෙතන හිටිය වයසක ගෑනු කෙනාට අමාරු වෙලා ගමේ මිනිස්‌සු ඉස්‌පිරිතාලෙට ගෙනිච්චා කියලා..." ප්‍රාදේශීය ලේකම්ගේ කතාවෙන් කලබල වූ පිරිස ලහි ලහියේ රෝහලට යැමට සූදානම් වූහ.
"පත්තරකාරයෝ කියනකල්ම එකෙකුට බැරි වුණානේ මට මේ ගැන කියන්න. ජොබ්ලිස්‌ට් එකට නෑ කියයි. විෂය පථයට නෑ කියයි මහලොකු මහප්පුරාණ, බම්බුව තමයි " ඇමතිතුමා කෑගසමින්ම හැමර් එකට නැග ගත්තේය.
"මෙයාට නැගල තියෙන්නෙ මේකෙන් මූණ රූප පෙට්‌ටියට දාගෙන ඡන්ද ටිකක් ගන්ට තිබුණ චාන්ස් එක නැතිවෙලා ගිය එකටයි. ලේකම්වරයා හිමිහිට අතිරේක ලේකම්ගේ කනට කෙඳිරුවේය.
රෝහලට වටවූ ඔවුනට හිසේ සිට පාදාන්තය තෙක් සුදු රෙද්දකින් වැසීගිය වයෝවෘද්ධ කාන්තාවකගේ නිසල දේහය දක්‌නට ලැබිණ.
අලුත් මල්කඩුවාවේ ගාමිණී ඒකනායක
මැදියම් රැයේ පණ බේරාගත් ගොඩ්විනුත්, දෙනියේ ගෙදර සෝමයාත් හති දමමින් පස්‌ස නොබලාම දුවන්නට වූහ. කඩු පොලු උළුක් කරගත් පිරිසක් ඔවුන් දෙදෙනා පසුපස එලවා බලාපොරොත්තු සුන්කර ගනිමින් ආපසු ගියහ. හොරකමෙත් කපටි කමේත් ක්‍රම සහ විධි වසර ගණනක් ප්‍රගුණකළ නිසාම දෙදෙනා සුරුස්‌ගාමින් තම නිවෙස්‌වලට රිංගා ගත්තේ ගැහෙන හදවතින් යුක්‌තවය.
"ඊයෙ තව ඩිංගෙන් මැරුං කංටයි වෙන්නේ... කඩේ ලාච්චුව ඇරල සල්ලි අතට ගන්න විතරයි එකෙකුට ඇහැරුනානෙ බං... වැඩිකල යන්ට ඉස්‌සරල අපි දෙන්න කාගෙන් හරි කම්බස් වෙනවා... මේක අතෑරල දාමු බැං, දැං අවුරුදු කීයක් ගුටි කැවද. ඊයේ පොලු පාර අතේ වැදිල තවමත් ඉදිමිලා... ගුටි කාලම දැං ඇඟපත රිදෙනවා... මතකනෙ එක පාරක් කඩුපාරට අත වෙන්උනේ නැති එක විතරයි..." දෙනියා කියාගෙන කියාගෙන ගියේය. දෙනියේ ගෙදර සෝමපාල වුවද ඔහු ප්‍රසිද්ධ දෙනියා හැටියටය.
"ඔව් බං අපිට ඉගෙන ගන්ටත් බැරිඋනා... අතේ පයේ වැඩක් දන්නෙත් නෑ. ඒකනේ බං මේ කුණු රස්‌සාවටම පුරුදු උනේ. ඒත් මොනවා කරන්ටද... අපිත් මේ ලොකෙ ජීJත් වන්ට එපැයි..." ගොඩ්ඩාද ඒ අදහස තහවුරු කළේය.
සොරකමට තිත තබා කොහෝ හෝ ඈත ගමකට ගොස් ජීවත්වීමට දෙදෙනා තීරණය කළේ බැරිම තැනය.
"අපි දෙන්නා එකට ගියොත් ආයෙත් පරණ වැඩේමයි කරන්ට හිතෙන්නෙ. උඹ ඕනෑ දිහාවක පලයං.... මම හෙට අනිද්දාම පොලොන්නරු පැත්තෙවත් යනවා කුලියට ගොයං කපන්නට..."
කිසිදු නිශ්චිත ඉලක්‌කයක් නොමැතිව බස් රථයෙන් බැස්‌ස පොඩ්ඩාට යකෙක් කන්ට බඩ ගින්නක් දැනුණත් අත ඉතිරි සීමිත මුදල මතක් කර දිග සුසුමක් පිට කළේය. කඩවල් කීපයකටම ගොස් වැඩ ඉල්ලා ඇවිටිලි කළද කිසිවකුත් උපකාර කරන බවක් නොපෙනුනි. ඔහු බඩගින්නේම මැදිරිගිරියේ කුසුම් පොකුණ ඇල පාරේ පියමං කළේය. ගිනි පූටකේ දහදිය දෙකාංසෙන් රූරා වැටුනද ඒවා මොහොතකට හෝ සමනය වූයේ හාත්පස වෙල්යායෙන් ඉද හිට එන සුලං රැල්ලකිනි. ගමන් මහන්සිය නිසා ඔහු බඩගින්නේම යාබදව ඇති මහ නුගගහ මුල හරිබරි ගැසී ඉඳගත්තේය. ඈත වෙල්ලායේ ගොයම් කපන පිරිසකගේ ගොයම් කවියක් දෙකක් ඉඳහිට ඇසුනෙත් ඒ දෙස බලා ඈනුමක් ඇරියේය. දහවල් ඇඹුලෙන් සප්පායම් වූ කුසුම් පොකුණ සේනයා ඈත නුගගහ මුල සිටින තැනැත්තෙකු යාංතමින් දැක්‌කේය.
"පව් අර කව්දොa මිනිහෙක් නුග ගහයට ඉන්නවා ඉතුරු වෙච්ච බත් ටික දීල දාමු".
ගොඩ්ඩා තමා වෙත එන කවුදොa පුද්ගලයකු දැකීමෙන් ඈතදීම බොරු ආරුඪයක් ගත්තේය.
"මේ උන්නැහේ බත් ටිකක් තියනවා දෙන්ඩද?
"දරුව.... පළමුව ආහාර පැත්තක තබා... කොල අත්තකත් ගහේ එල්ලලා... නමස්‌කාර කරන්ට හොඳයි".... මෙතන ශුද්ධ භූමියක්..." ගොඩ්ඩා බත්මුල දෙසවත් නොබලාම අණ කළේය. විස්‌මිත වී බිරාන්තව මොහොතක් බලා සිටි සේන එකත්පක්‍ෂව තුරටිය අත්තක් කඩා නුග ගසේ එල්ලුවේ තරමක් තැතිගැනීමෙනි.
"මුන්නැහේ කොයි පලාතෙද..."
"මං ඈත පලාතක නුගගහකට අධිගෘහිත දෙවිකෙනෙකුගේ කැප කරුවෙක්. මට හීනෙං කීවා මේ නුග ගහ බාර අරං මේ පැත්තට ආශිර්වාද කරන්ට යන්ට කියල. ඒ හිංද මෙතන දැං ශුද්ධ භූමියක්, යන එන ගමං බිමං වලට ශාන්ති කරවගන්ට, බාර ගැට ගහන්ට, දානෙ දෙන්ට මේ පළාතෙ ඇත්තන්ට තැනක් නෑ කියලයි මට යන්ට කීවේ. ඒ හිංද කාල ඉතිරි ඒවා නොවෙයි හරියට දාන මාන පිළිගන්නංඩ වෙයි."
"එහෙමයි" බියෙන් තැතිගත් සේන මිමිනුවේය. කුසුම් පොකුණ ජනපදය පුරාම නුගගසේ තාපසයා පිළිබඳ ආරංචිය ලැබී ගින්නක් සේ පැතිර යැමට වැඩි කලක් ගත නොවීය. එම නිසා අලුත් තාපසයා බැහැ දැකීමට කොල්ලෝ, කුරුට්‌ටෝ පමණක් නොව වැඩිහිටියෝද බොහෝ දෙනෙක් පැමිණයහ.
මුලදී මුලදී දාන මාන අතරින් පතර වැරදුනත් කලක් ගතවනවිට උදේ දහවල් යහමින් පුද පූජා ලැබිණි. වරක් ධාරානිපාත වැස්‌සකට හසුවූ තාපසයා හාවක් හූවක් නොමැතිව තෙමීගෙන නිසලව සිටිනු දැකගත් ගම්වැසියෝ දෙවියෝ කෝප වේයයි බියෙන් ලහි ලහියේ මඩුවක් සාදා දුන්නේ ඉක්‌මනින්ම ස්‌ථිර ගොඩනැඟිල්ලක් සැදීමේ අදිටනෙනි. මහපාරේ යන ඕනෑම කෙනෙක් කොල අත්තක් එල්ලලා ආශිර්වාද ලබා ගැනීම සුලභ දසුනකි. යාන වාහන වලින් යන්නවුන් පවා පිං කැටයට යමක් නොදමා යැමට බිය වූහ. වසරක් වත් යැමට මත්තෙන් ප්‍රදේශයේ ජනතාවගේ ආශිර්වාදය මැත තාපස තුමාට අංග සම්පූර්ණ ගොඩනැඟිල්ලක් හිමිවිය. නව ගොඩනැඟිල්ලේ දැං තාපසයාට වෙනම කාමරයකි. ආශිර්වාද ප්‍රජාව සඳහා දිග ගොඩනැඟිල්ලකි. දිනපතාම නුගගහ වටා අතුපතු හා පහන් පත්තු කිරීමට ගැමියෝ හුරු පුරුදු වූහ. විභාග කාලවලට තාපසතුමාගේ වෙනම ආශිර්වාද පූජාවකි.
"තාපස තුමානං මේ ගමට ලොකු වාසනාවක්... දැං මේ යායෙන් ඉස්‌සරට වඩා අස්‌වැන්න හොඳයි.... ඕං... නූල් දාගන්න හුඟ දෙනෙක් විභාග ඉහළින්ම පාස් වෙලාලු මේ සැරේ...." ගැමියෝ තාපසතුමාගේ අනුහස් වර්ණනා කළහ.
දෙනියා සරමක් සහ කමිසයක් සිලිසිලි මල්ලක දමාගෙන කඩමංඩියට ගියේය. ඔහු පළමුවෙන්ම නෙත ගැටුන මයියංගනය බස්‌රථයට නැග්ගේය. තේවතුර බීම සඳහා අතරමග නතර කරන ලද බස් රථයෙන් බෑස කඩ කීපයකින්ම රස්‌සාවල් ගැන විපරම් කළත් පලක් නොවූයෙන් යලිත් ගමන් ආරම්භ කළේය. හෝරා දෙකකින් පමණ ගමන නිමාවූ බස්‌රථය නැවතුම් පොලේ ගාල් කරනලදී. බසයෙන් බැසගත් ඔහු ඉබාගාතේ ඔහේ ඇවිද්දේය. බස් නැවතුම්පළ යාබදින්ම එක්‌වරම මහා කලබලයකි.
"හොරෙක්... හොරක් ඔන්න ඕක අල්ලපියව්" තමා ඉදිරියට පිම්මේ දුවගෙන එන හැඩිදැඩි පුද්ගලයෙක් පිටුපස හඬා එන පිරිසකි. වහා ක්‍රියාත්මක වූ දෙනියා ක්‍ෂණයකින් හැඩිදැඩි පුද්ගලයා අල්ලා ගන්ට තැත්කළේ ඔහු අමෝරාගත් පිහියද නොතකාය. දෙනියායේ පා පහරින් දැඩිදැඩි පුද්ගලයා කපාහෙලූ ගසක් මෙන් බිම පතිත විය. එහෙත් පිහිපහරින් තුවාල වූ අත් අල්ලාගත් දෙනියා බිම වැටී මරහඬ දෙන්නට පටන් ගත්තේය. යුහුසුළු වූ අහල පහල පිරිස ඉක්‌මනින්ම දෙනියා රෝහලට ඇතුල් කළහ.
"අප්පේ තමුසේ නොහිටිංඩ ඕකව අල්ල ගන්ට වෙන්නෑ.... ලොකුම ලොකු උදව්වක් තමුසෙ කෙරුවෙ.... අනික ඌ පොලිසියට කට්‌ටි පැන්න මිනිමරුවෙක්... ඕනෑ උදව්වක් කියන්ට..."
හවස් යාමයේ තෑගි බෝගද රැගෙන තමාගේ සුවදුක් බැලීමට පිරිසක් පිරිවරාගත් පුද්ගලයෙකි. ඔහු තරමක් වැදගත් අයකු විය හැකියයි දෙනියාට සිතිනි.
"අනේ සර් මට මොනවත් එපා මට රස්‌සාවක් හොයල දෙන්ට..."
"රස්‌සාවක් නේද... හරි මම තමුසේ සනීප උන ගමන් මොකක් හරි කරන්නම්..." තුවාලය සනීප වී දෙනියා රැගෙන යැමට ඔහු පැමිණියේය.
තමුසෙ මං ඇමැතිතුමාට බාර දෙන්නම්. සේරම කතා කරලයි තියෙන්නේ..."
දෙනියා රත්නපාල ඇමැතිතුමාගේ ආරක්‍ෂක භටයකු බවට වහාම පත්විය. දෙනියාට දැන්නම් කියපුම රස්‌සාවය. සුදු අත්කොට කමිසයක්, කළු කලිසමක් සහ කළු සපත්තු කූට්‌ටමකින් නිතරම සැරසීගත් ඔහුට වැඩි කලක් යැමට පෙර ඇමැතිතුමාගේ ළඟම ආරක්‍ෂකයා විය. ඔහු සාක්‌කුවේ ලා ගත් පිස්‌තෝලය වරින්වර එළියට ගෙන සාක්‌කුවේ දමා ගත්තේ මහත් ආඩම්බරයෙනි. ඔහු ආවේ ගියේ මොන්ටේරෝ රථයකය. ඇමැතිතුමා පසුපස අසුනෙන් බැසීමට පෙර ඉදිරිපස අසුනේ සිටින දෙනියා වහාම බැස පසුපස දොර විවෘත කර ඇමැතිතුමාට රථයෙන් බැසීමට උපකාර කිරීම පමණක් නොව ඇමැතිතුමා පිටිපස්‌සෙන්ම ගමන් කරයි. ඇමැතිතුමාගේ පමණක් නොව පවුලේම අයගේ විශ්වාසවන්ත පුද්ගලයා වීමට ඉක්‌මනින්ම ඔහුට හැකිවිය.
"දෙනියාය... තමුසෙ අර මරණ ගෙදර මං වෙනුවෙන් යනවා".
"එහෙමයි සර්".
වැඩිකල් ගතවීමට පෙර ඇමැතිතුමාගේ විශ්වාසවන්තකම නිසාම
ඇමැතිතුමාගේ මළ ගෙවල්, මගුල් ගෙවල්, තොවිල් බවිල් පිංකම් සේරම නියෝජනය කිරීමට ඔහුට මහත් ගෞරවයකි.
"මං ඇමැතිතුමා වෙනුවෙන් ආවෙ" ඔහු ගැමියන්ට කීවේ මහත් උද්දාමයකින් යුක්‌තවය. ඇමැතිතුමාගේ ජීප් රථයෙන් බසින දෙනියාය මහත්තයාට කරන්ට බැරිදෙයක් නැති බව ගැමියෝ විශ්වාස කළහ. රැකියාවකට දැමීම, ලී පර්මිට් දීම, කොන්ත්‍රාත් ගැනීම, පොලිසියෙන් බේරා ගැනීම වැනි සබ්බ සකල දේටම ගැමියන්ට දෙනියාය මහත්තයා කප්රුකක් විය.
හදිසියේම විසුරුවා හැර මැත්වරණයක් ප්‍රකාශයට පත්කළේ මේ අතරතුරය. දෙනියාය මහත්තයා රත්නපාල ඇමැතිතුමාගේ ඡන්ද ව්‍යාපාරයේ බර කරටම ගත්තේය. දෙනියාය මහත්තයාට බියෙන් විරුද්ධ පාක්‍ෂිකයෝ පෝස්‌ටර් ගැලවීමට බිය වූහ.
"දෙනියාය... අර රැස්‌වීම් ටික හරිද... පෝස්‌ටර් ගැහුවද.... මල්මාල කලිං ඇරියද... බත් පැලට් ටික ඇරියද...." ඇමැති තුමාගේ ප්‍රශ්න වැලකි. දෙනියාය අපූරුවට තම කණ්‌ඩායම මෙහෙය වීය. ඇමැතිතුමා මෙවර මැතිවරණයෙන් ගිය සැරේටත් වඩා ඡන්ද ගානකින් ජය ගත්තේය.
"මේ සැරේ ඔය යකාට ඡන්ද අඩුවෙලා තිබුණෙ. අර දෙනියාද මොකාද එකා හැම තැනම හොර ඡන්ද දාල මිනිහ දිනවල තියෙන්නේ..." ඒ ඇතැම් ගැමියන්ගේ චෝදනාවකි.
"දෙනියාය නැතිවෙන්ඩ මං කොහෙ දිනන්ඩද මේ සැරේ" ඇමැතිතුමා පිරිසට දෙනියාය මහත්තයව වර්ණනා කළේය. වසර දෙක තුනක් ඇතුළත ප්‍රාදේශීය සභා මැතිවරණයද ප්‍රකාශයට පත් කළේය.
"දෙනියාය... තමුසේ මේ සැරේ ප්‍රාදේශීය සභා ඡන්දෙට ඉල්ලනවා.. මං දිනවල දෙන්නම්... මට විශ්වාස කෙනෙක් එතන ඉන්ටෝනෑ..."
ඉහේ මලක් පිපුන දෙනියාය මහත්තය යටහත් පහත්ව කැමැත්ත පළ කළේය. මහ මැතිවරණය දිනාගත් ඇමැතිතුමාට ප්‍රාදේශීය සභා ඡන්දය කිරිකජු කනාන්වා වගේය. දෙනියාය මහත්තයාද විශාල වැඩි ඡන්ද ගණනකින් ජයග්‍රහණය කළ අතර ඇමැතිතුමාගේ අනුහසින් සභාපතිතනතුරට පත්වීමට තරම් වාසනාවන්ත විය.
"දෙනියාය,.. තමුසෙට හොඳ වාසනාවක් තියෙන මිනිහෙක් ඊළඟට පළාත් සභාවටත් යන්ට සූදානම් වෙනවා.."
"එහෙමයි සර්".
දෙනියාය මහත්තයට දැං වෙනම කැබිරිථයකි. ප්‍රාදේශීය සභාවේ සභාපතිවීම නිසා උත්සව වල මූලාසනවල අඩුවක් නැත. පොලිස් නිලධාරීන් පවා තමා දෙස ගෞරව සම්ප්‍රයුක්‌තව බලන සැටි දැකීමෙන් ඔහුට කට කොනකට සිනා පහළ විය. ලී පර්මිට්, වැලි පර්මිට් මෙන්ම කොන්ත්‍රාත්වලින් හොඳ ගානක් අතයට ලැබුණද ඒවා සියල්ල ඡන්ද වැටඩ යොදාගන්නා බව ඇමැතිතුමාටද දන්නා බැවින් ඔහුද නොදැක්‌කා සේ අහක බලාගෙන සිටියේය. ඒත් ඇමැතිතුමාටද හොරෙන් දෙනියාය මහත්තයා දවසින් දවස තම බැංකු ගිණුම තකරගත්තේ හූනෙකුටවත් නොදැනෙන්නටය. දැතේ මුදු මාල වලින් පිරීගිය දෙනියාය මහත්තයා සුදු පැහැ ජාතික ඇඳුමට අපූරු පෙනුමක් ගෙන දුන්නේය.
වසර කීපයක්‌ම දෙනියාය මහත්තයා ඇමැතිතුමාගේ ආශිර්වාදය මැද පළාත් සභාවට නාම යෝජනා දුන්නේ ඡන්ද ව්‍යාපාරය මහ ඉහළින් කිරීමට සියල්ල ලක ලෑස්‌ති කරමිනි.
"දෙනියාය අන්න අර හාස්‌කං තියෙන හොඳ දේවාලයක් තියෙනවා.... මමත් එතෙන්ට ළඟද ගියා. ඡංදෙ රැස්‌වීම් පටන් ගන්ඩ ඉස්‌සරල කොයිකටත් එතනින් ආශිර්වාද ලබා ගන්නවා... හැබැයි හරි සෙනග කල්තියා වෙලාවක් අරං යන්ටවෙයි...."
"හොඳයි සර්".
විස්‌තර වංහුං සොයාගගත් දෙනියාය සභාපතිතුමා පිරිසක් පිරිවරාගෙන වාහන කීපයකින්ම දේවාලයට උදේ පන්දරින්ම යනවිටත් පිරිසක් පූජා වට්‌ටි සමගින් රැස් කකා සිටියහ. දේවාලයේ හාත්පස දෙපස පළතුරු කඩවලින් පිරීගොස් තිබිණි. ඉස්‌තරම්ම වර්ගයේ පලතුරු වට්‌ටියක් දොaතින්ම ගෙන කල්තියා ලබාගත් අංකයට ඇතුල් වීමටද සෙනග ඈත් මෑත් කරමින් මහත් වෙහෙසක් ගැනීමට සිදුවිය. සභාපතිගේ සහචරයන් සෙනග එහාට මෙහාට තල්ලු කර සභාපතිට අවස්‌ථාව ලබාදුන්හ. පළතුරු වට්‌ටිය නලලේ තබාගත් සභාපතිතුමා තාපසතුමාගේ දොර අභියස යටහත් පහත් ලෙස බලාගෙන සිටියේය.
"මේ දරුව මොකද..."
තාපසතුමා මං මේ සැරේ ඡන්දෙ ඉල්ලනවා.. ඔබ තුමා බැහැ දැකල... ආශිර්වාද ලබාගන්ට ආවේ...."
"ශාන්ති.... ශාන්තී..... දරුවා මෙතන වාඩිවෙන්ට හොඳයි.... සභාපතිතුමා පුංචි පුටුවක හරිබරි ගැසී ඉඳගත්තේය.
"මහත්තය කොයි පළාතෙද... නම කොහොමද..."
"මම තාපස තුමා ටිකක් ඈත දෙනියාය පැත්තෙ. නම නං සෝමපාල. ඒත් මේ පළාතේ කියන්නේ දෙනියාය මහත්තයා කියල".
තාපසතුමා මොහොතක් වෙලා ඇසිපිය නොහෙලා සභාපතිතුමා දෙස එක එල්ලේම බලාගෙන සිටියේය.
"කෝ බලන්ට දකුණු අත..."
සභාපතිතුමා ජාතික ඇඳුමේ කමිසයේ අත මෑත්කොට අත දිග හැරියේය. තාපසතුමා අත හොඳහැටි පරීක්‍ෂා කර වටපිට බැලුවේය.
"මේ ළමයා පොඩ්ඩකට එළියට යනවද.... මට ලොකු යාතිකාවක් කරන්ට තියෙනවා... පැය භාගයට කව්රුවත් ඇතුළතට එවන්ට එපා..."
"එහෙමයි" ආවතේව කරුවා එළියට ගොස් දොර වසා දැම්මේය.
"ඔය දරුව දෙනියේ ගෙදර සෝමපාලද? අර වැව ඉස්‌මත්තෙ ගෙදර.... සභාපතිතුමා විස්‌මිතව තාපසතුමා දෙස කට ඇරගෙනම බලා සිටියේය.
"ඔබතුමා පේන කියනවා වගේ කීව... කොහොමද හරියටම කීවේ..."
තාපසතුමා කිසිවක් නොකියා සභාපතිතුමාගේ අතේ හරස් අතට අඟල් දෙකක් පමණ වූ තුවාල කැලල හොඳින් අත ගා සිනාසුනේය.
"යකෝ දෙනියා... මේ අතට කඩුපාර වැදුනෙ... උඹයි මමයි හොරකං කරන්ඩ ගිහිං මතකද..." මම යකෝ ගොඩ්ඩා..."
"දෙයියෝ සාක්‌කි..." සභාපති උඩගොස් බිමට වැටින. කිසිවක් කතාකරගත නොහැකිව දෙදෙනාට දෙදෙනා බදාගෙන අතීතය වමාරන්නට විය. එහෙනං අපි දෙන්නටම හරි ගියා..."
"උඹට දැං ඇඟ රිදෙන්නැද්ද බං ගුටි කාපුවගේ..." දෙදෙනාටම මහ හයියෙං සිනාසුනහ...." මුං ඉන්නකල් අපට හොඳයි.... එහෙම්මම කරගෙන යං..."
"එතකොට උඹේ ආශිවර්වාදේ...."
"බම්බුවේ ආශිර්වාදෙ පලයං යන්ට... ඉක්‌මනටම අපි හම්බවෙමු. මං උඹට කතා කරන්නට...."
තම අකලංක මිත්‍රය දැකීමෙන් අතිශයින්ම සතුටට පත්වූ සභාපතිතුමා දිග සුසුමක් හරිමින් කැබ් රථයට ගොඩවිය.
"ඊළඟ දරුව ඇතුළට එවන්ට" ඒ තාපසතුමාගේ විධානයකි.
ඒ. එම්. වික්‍රමසිංහ අතපත්තු
රජමහා විහාරයේ බෝධිපූජාවට පැමිණි සැදැහැවතුන් සිත පුරවා ගත් පින් සිතුවිලිවලින් යුතුව නිවෙස් බලා යති. බෝමළුව පැත්තෙන් හමා, එන මද පවන් රැළි බණ මඩුව තුළටත් හඳුන්කූරු සුවඳක් රැගෙන ආවා. ඒ සුවඳින් විල්බට්‌ගේ සිතට දැනුනේ අමුතුම හැගීමක්. පන්සලකට ගිහින් මලක් පහනක් පූජා කරලා බණ ටිකක් අහලා සිත සනසා ගැනීමේ පුරුද්දක් විල්බට් තුළ නොවීය. සුරාජා හෙවත් රතු මහත්තයාගේ සොර කල්ලියේ සාමාජිකයෙකු වූ විල්බට් සොරකමට උපන් තියුණු කල්පනා ඇති ගුප්ත මිනිසෙකි. දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන විල්බට් අඹුදරුවන් බලන්නට ගෙදර යන්නේ සති දෙක තුනකට වතාවකි. එතෙක් ඔහු නිවසන්නේ රතු මහත්තයාගේ වරකාපොළ පිහිටි නිවසකයි. යම් තැනක නිධානයක්, රත්තරං පිළිමයක්, ඇත් දළ ජෝඩුවක් වැනි වටිනා භාණ්‌ඩ පිළිබඳව රතුමහත්තයාට ලැබෙන ආරංචි ගැන සොයා බලන්නට එහි යන්නේ විල්බට්‌ය. රහස් පරීක්‍ෂකයෙකු සතු තියුණු ඇසක් ඇති විල්බට් විවිධ චරිත පිළිබඳ මනා අවබෝධයකින් යුක්‌තය.
"මහත්තයා........ තේ ටිකක් බොමු."
ලොකු හාමුදුරුවෝ බණ මඩුවට වැඩම කරලා. විල්බට්‌ට තේ වතුර ගෙනැල්ලා. විල්බට් හාන්සි වෙලා හිටපු පැදුරෙන් නැගිට්‌ටා. තමා පැමිණ ඇත්තේ කුමන කාරණාවකටදැයි දන්නවා නම් මේ හාමුදුරුවෝ මොනතරම් වෙනස් ස්‌වරූපයක් ගනීවිද? විල්බට්‌ගේ සිත වික්‌ෂිප්තව ගැහෙන්නට වුණා.
"බොන්න මහත්තයා තේ ටිකක්.......... අපේ පියදාස ළමයා රෑට කන්න මොනවා හරි හදලා දෙයි. මහත්තයාට ගමන් විඩාවත් ඇතිනේ"
දෙයියනේ මොන තරම් කරුණාවන්ත හාමුදුරුනමක්‌ද?
තමා පැමිණ ඇත්තේ වැරදි තැනකටදැයි විල්බට්‌ගේ සිත ප්‍රශ්න කරයි. රතු මහත්තයාගේ උපදේශය ඔහුට මේ මොහොතේ සිහිපත් වෙයි.
"විල්බට් තමුසෙ අදම යනවා පන්සලට...... ලොක්‌කා කොහොම හරි රවට්‌ටා ගන්නවා. රෑට පන්සලේ ඉන්න පුළුවන් විදියට පරිසරය හදාගෙන ලොක්‌කා නිදා ගන්න ඉස්‌සරලා පන්සල ඇතුළට රිංගාගන්න ඕනෑ. හරියටම රෑ දොළහට හාමුදුරුවන්ගේ මූණට මේ බේත්ටික අල්ලනවා. ඊට පස්‌සේ සිහි නැතිවෙයි...... අපි එකට විතර එනවා එතකොට දොර ඇරපං......."
මිලකළ නොහැකි රත්තරං පිළිමයක් මේ පන්සලේ තියෙන බවට රතු මහත්තයාට ලැබුණු තොරතුරු අනුවයි වැඩේ සැලසුම් වුණේ. විල්බට්‌ට පැවරී ඇත්තේ මහා භාරදුර කාර්යයකි. තමාට හිතුන දේ කෙසේ හෝ ඉටුකර ගන්නා මානසිකත්වයක් සහිත රතු මහත්තයා අන්තිමට දුන්නු උපදේශය ඇඟ කිළිපොලා යන තරමේ ප්‍රකාශයක්.
"වැඩේ ගැස්‌සුනොත්, ලොක්‌කා ඉවරයක් කරපං......"
"මහත්තයා මොනවද කරන්නෙ...... පාලුව කාන්සිය ඇති මම දැන් විහාරෙට යනවා පිරිත් කියන්න මහත්තයත් කැමති නම් එන්න....." වස්‌තු තණ්‌හාවෙන් අන්ධ වූ පාපකාරී සමාජයේ අතරමං වූ මිනිසෙක් ලෙස විල්බට් අද සවස පන්සල් බිමට ඇතුල් වුයේ වැදගත් කමක වෙස් මුහුණ දමාගත් දුර්දාන්තයෙකු ලෙසටයි.
"මහත්තයා කොහෙද? ලොකු හාමුදුරුවන් ආගන්තුකයන් අමතන සුපුරුදු සුභාෂිත විවෘථ කළහ."
"හාමුදුරුවනේ මම කොළඹ ඉඳලයි එන්නේ, මම මේ පොතක් ලියන්න කරුණු එකතු කරනවා" "පොතක් ලියන්න?
"එහෙමයි"
"බොහොම හොඳ වැඩක්......."
එහෙමයි. පැරණි විහාරස්‌ථානවල තොරතුරු ඇතුළත් පොතක් තමයි ලියාගෙන යන්නේ. ඉතිං මේ පන්සලත් පැරණි ස්‌ථානයක් හින්දා තොරතුරු ටිකක් ගන්න තමයි ආවේ......
රතු මහත්තයා උපදෙස් අනුව විල්බට් ආරූඨ වූ මෙම උතුම් චරිතය සැබවින්ම ඔහු වැන්නවුන් ළඟ පවතින්නේ නම් ලෝකය වඩාත් නිවැරදි වනු ඇත. හාමුදුරුවෝ මුලාවට පත්කර ගත හැකි හැසිරීම් මාලාවකින් පිරිපුන් මේ අපරිපුර්ණ මිනිසා ලොකු හාමුදුරුවන්ට යම්කිසි මට්‌ටමක හානියක් සිදු කීමේ පාපතර හැඟීමකින් සන්නද්දව සිටී. රතු මහත්තයාටත් ලොකු හාමුදුරුවන්ටත් එක සේ පායන සඳ පුර පක්‍ෂයට පැමිණ ඇත. එය පිරුණු සඳක් වන්නට තව දින හතරක් තිබුණ ද කලුවලාවන්ගෙන් තොර වු අහස් කුස තුළ විරාජමානව බැබළෙයි.
ලොකු හාමුදුරුවන්ගෙ කරුණාවන්ත බවත් රතු මහත්තයාගේ දරුණුකමක් අතර ඇති පරතරය විල්බට්‌ගේ හිතට අමුතුම හැඟීම් එකතු කළා. වස්‌තු තන්හාවෙන් අන්ධ වීම මිනිස්‌කම දුරස් වීමක් බව විල්බට් මෙනෙහි කළා. තව පැය කිහිපයකින් මේ කරුණාවන්ත වු හාමුදුරුවෝ සිහි නැති කිරීමට විල්බට් සූදානම් විය යුතුයි. හාමුදුරුවෝ පණ මෙන් ආරක්‍ෂා කරගත් දඹරන් පිළිමය ගෙන යෑමට රතු මහත්තයාට උදව් විය යුතුයි. මේ අපරාධයට සම්බන්ධ වුයේ ජීවත් වීමේ සටන දිනාගැනීමට තමා රතුමහත්තයා යටතේ සේවය කරන නිසයි. විල්බට් මෙවැනි අවස්‌ථා කිහිපයක්‌ම සාර්ථකව ක්‍රියාත්මක කිරීමෙන් රතු මහත්තයාගෙන් ප්‍රසංසා ලැබූවෙකි.
ලොකු හාමුදුරුවෝ විහාරයෙහි දොර විවෘත කළහ. උන්වහන්සේ පිරිත් දේශනා කිරීමට සූදානම් වෙති. තමන්ටද කැමති නම් සහභාගී වන ලෙස ආරාධනා ලැබී ඇත.
විල්බට් තම සොර නායකයා කියාදුන් උපදෙස් අනුව මැනවින් ක්‍රියාත්මක වී හාමුදුරුවෝ මුළාවට පත් කර ගත් අයුරු සිහිපත් කරයි.
"මහත්තයා නැගිටින්න....... නින්ද ගියාද?
හාමුදුරුවෝ සෙත් පිරිත් කියා අවසන් වු බවක් දැනුනේ නැත. කල්පනාවේ නිමග්නව සිටි විල්බට් තිගැස්‌සී අවදි විය. හාමුදුරුවෝ සමග විහාරයෙන් එළියට පැමිණ උන්වහන්සේට දණ නමස්‌කාර කළේ සිත තුළ ඇති පාපකාරී ක්‍රියාවලියට සමාව යදින්නාක් මෙනි.
"සුවපත් වේවා........ මහත්තයා එහෙනම් බණ මඩුවට යන්න. පියදාස ළමයා මොනවාරිහරි කන්ඩ ගෙනෙයි......."
මේ කරුණාබර පින්කෙතට මා අවනතව සිටින්නේ තව කොයිතරම් සුළු කාලයක්‌ද උන්වහන්සේගේ දයාබරිත මෙන් සිතට එරෙහිව ක්‍රියාත්මක වන්නට තමා සතු පාපකාරී ෙච්තනාව බලවත් වේවිදැයි විල්බට් කල්පනා කරයි. ඔහු බණමඩුවට යද්දී පියදාස කෑම පිගානක් සහ වතුර බෝතලයක්‌ද සහිතව එහි රැඳී සිටියේය.
"මහත්තයා කෑම ගෙනාවා...... කාලා නිදාගන්න"
මේ සැලකිලි හා විශ්වාසය පුදුම සහගතය මිනිස් ලොව හරිම පුදුමයි. ආත්මාර්යෙන් පිරුණු තණ්‌හාධික මිනිසුන් අතර පරිත්‍යාගශීලී නිවුණු මිනිසුන් සැපසේ ජීවත් වෙයි. පියදාස දුන් බත් පිගාන අතට ගත් විල්බට් එය ධර්ම ශාලාවේ ආසනයක් මත තබා විදුලි බුබුලක් දැල්වූවේය. හාත්පස ආලෝක ධාරාවන්ගේ කැඩුණු එළිය මගින් යන්තම් එළිය වී තිබුණු ධර්ම ශාලාව දැන් මනාව ආලෝකමත් වි ඇත. ශාලාවෙහි බිත්තියේ තැනින් තැන ධර්මානුකූල ආදර්ශපාඨ එල්ලා ඇත. එක තැනක වාඩි වී තැන්පත්ව ආහාර ගැනීමට විවේකයක් හා පුරුද්දක් නොතිබුණු විල්බට් මේ සාමකාමී පුණ්‍ය භූමිය තුළද බත් පිගාන අතට ගෙන ඇවිදිමින් කෑම කෑවේය.
"සංවර සිත ලොවම අවනත කර ගනී"
ධර්ම ශාලාව පුර සවිකර ඇති ආදර්හ පාඨ කියවමින් ආහාර ගැනීම කුසත් සිතත් එකවර පිරෙන ක්‍රියාවලියක් බව විල්බට්‌ට දැණුනා සේය.
"පාපය සිත දවයි කුසල සිත නිවයි"
"පින්වත දැහැමි වන්න ඔබට සසර ජයගත හැක"
"තණ්‌හාවෙන් සෝකය උපදී"
විල්බට්‌ගේ සිතට දැනෙන සහනය රතු මහත්තයාගේ අත ඉක්‌මවා යන්නක් සේ දැනෙයි.
"වැඩේ ගැස්‌සුනොත් ලොක්‌කා ඉවරයක් කරපං"
රතු මහත්තයාගේ ගැඹුරු හඬ මේ සියලු බණ පද හා සටන් කරන්නාක් වැනිය. ඔහු ලොක්‌කා යනුවෙන් හැඳින්වුයේ මේ උදාරතර පින්කඳ බව දැනෙන විට විල්බට්‌ගේ සියොලඟ අප්‍රාණික වී යයි. "රත්තරන් බුදු පිළිමය" කෙසේ හෝ පන්සලෙන් පිටතට ගැනීමට අවස්‌ථාව ලැබුණොත් අනිවාර්යෙන්ම තමන්ටද රුපියල් ලක්‍ෂ දෙකක් ලැබෙනු ඇත. දරුවන්ගේ අවශ්‍යතා ගේ දොර අගහිගකම් හිතමිතුරන්ගේ ණයතුරුස් ආදී විවිධ ගැටළුවලට තරමක අස්‌වැසිල්ලක් මේ වැඩේ හරියට කළොත් තමන්ට ලැබේ.
"දානය ඔබ සැපවත් කරයි - සොරකම ඔබ දිළිඳු කරයි"
බිත්තියේ සවිකොට ඇති ආදර්ශ පාඨ විල්බට්‌ගේ අරමුණට බරපතල හානියක් සිදු කරයි. සටන් බිමකට යැවීමට සන්නද්ධ කළ සෙබළෙකු මරණ භයින් තැතිගෙන සටන් බිමෙන් පැන යන්නා සේ විල්බට්‌ගේ සිතට මේ පරිවර්තනය මහත් බලපෑමක් ඇති කර තිබේ.
"මහත්තයා නිදි නැද්ද?"
මනෝමය සටනක නිමග්නව සිටි විල්බට් හමුවීමට ලොකු හාමුදුරුවෝ වැඩමකර සිටිතී.
අවස්‌ථාව හා අරමුණ අනුව හාමුදුරුවෝ වැඩම කිරීම තමන්ට හිරිහැරයක් සේ දැනුනද උන්වහන්සේ සතු කරුණාබර මෛත්‍රී සහගත පෞරුෂය තුළ ඇත්තේ දුටුවන් වශීකෘත කරවන ආකර්ශනයකි.
ධර්ම ශාලාවේ කුඩා අසුනක් මත වාඩි වූ හාමුදුරුවෝ තමාටත් ස්‌ථානයටත් හානියක් සිදු කිරීමට පැමිණි ආගන්තුකයා සමග සතුටු සාමීචියේ යෙදෙන්නට විය.
"මහත්තයා දැන් ලියන්න පන්සල් කීයක විතර ගිහින් තොරතුරු එකතු කළාද?
අනපේක්‍ෂිත සම්මුඛ පරීක්‍ෂනයකට මුහුණ දීමට සිදු වු විල්බට් කටට ආ උත්තරයක් දීමේ න්‍යාය පමණක් භාවිතා කළේය.
"තවම පටන් ගත්තා විතරයි හාමුදුරුවනේ. දැනට පන්සල් හයක විතර තොරතුරු තියෙනවා. බැරෑරුම් වැඩක්"
තමා පැමිණ ඇත්තේ බැරෑරුම් වැඩකට වුවද පාප ෙච්තනාවන් යටපත්කොට වංචනික වූ මවාපෑමක් තව කොතෙක් දුරට මෙම උත්තම පුරුෂයා සමග පවත්වාගෙන යා හැකි දැයි විල්බට්‌ට සිතාගත නොහැකිය.
"ලොකු හාමුදුරුවො කොයිපළාතෙද...."
විල්බට් තැබුවේ සාර්ථක පියවරකි. ප්‍රශ්න විචාරකයා තමා වීම බුද්ධිමත් ක්‍රියාවකි. ප්‍රශ්න කිරීම හිතුමතේට කළ හැකිය. පිළිතුරු දීමේ ඇති අවධානම ඉතා බලවත්ය.
"මම මේ ගමේමයි මහත්තයෝ........... මේ ගමම මගේ නෑදෑයෝ"
"මහණ වුණේ කුඩා කාලෙමද?
ප්‍රශ්න කිරීම දිගටම කෙරෙන්නේය. විල්බට් අමාරුවේ වැටෙන පාටක් නැත. හාමුදුරුවෝද ලබා දෙන්නේ සාර්ථක පිළිතුරුය.
"මම මහණ වුණේ පුංචි කාලෙමයි. අපේ තාත්තා හොරෙක්. කීවම මොකද මහත්තයෝ හොර දෙටුවෙක්. ඔය කෑගල්ල පැත්තේ රජමහා විහාරෙක පිළිමයක් හොරකම් කරලා පොලිසියට අහුවුණා. හිරේ ගියා. අපේ අම්මා බොහොම අමාරුවෙන් තමයි අක්‌කයි මමයි හදා ගත්තෙ. ඒ කාලේ මේ පන්සලේ හිටපු නායක හාමුදුරුවෝ අපේ අම්මට බණ කියලා හිත පහදවලා මාව මහණ කරන්න ඉල්ලා ගත්තා."
විල්බට්‌ගෙ මුළු ශරීරයට පණ නැතිවා සේ දැණින. ධර්ම දේශනාවකට සවන් දෙන්නාක් මෙන් හාමුදුරුවන්ගේ කතාව අසා සිටි ඔහු හූ මිටි දීමක් හෝ නැත.
"මහත්තයෝ මම මහණ කරනකොට ගමේ මිනිස්‌සු හරියට විරුද්ධ වුණා. පිළිම හොරාගෙ පුතා මහණ කරන්න එපා කියලා ගමේ මිනිස්‌සු කීවේ.
"ඒ වුණාට නායක හාමුදුරුවෝ ස්‌ථිර අධිෂ්ඨානයක හිටියා"
"ලොකු හාමුදුරුවනේ......." විල්බට් තරමක පිබිඳීමකින් යුතුව යළි කටහඬ අවදි කළා.
"මට දැන් හිතෙනවා පන්සල ගැන පොත ලියන්න ඉස්‌සරලා ඔබ වහන්සේ ගැන පොතක් ලීවොත් හොඳයි කියලා."
" හොඳයි මහත්තයා උත්සාහ කරලා බලන්නකෝ.........
"ලෝකයට යහපතක් වෙනවා නම් මොන දේ කළත් කමක් නෑ මහත්තයා. අද සමාජය පත්වෙලා තියෙන තත්ත්වය බැලුවම කොහෙන් පටන් අරගෙන නිවැරදි කළ යුතුද කියලා හිතාගන්න බැහැ. මිනිස්‌සු වස්‌තු තණ්‌හාවෙන් පිරිලා. සල්ලි හොයන්න අම්මා තාත්තා වුණත් මරන්න සමහරු අන්ධ වෙලා. අපි මේ ලෝකය නිවැරදි කරන්ඩ ඕනෑ මහත්තයො...."
"මහත්තයා එහෙනම් නිදාගන්න. අපි හෙට උදේ තව ටිකක් කතා කරමු.... මහත්තයට පොරවගන්න සීට් එකක් එවන්නම්කො පියදාස අතේ.
තුණුරුවන්ගේ පිහිටයි මහත්තයා....."
ලොකු හාමුදුරුවෝ සංඝවාසයට වැඩම කළා. විල්බට් ඊළගට කළ යුත්තේ කුමක්‌දැයි කල්පනා කරන්නට විය. රතු මහත්තයාගේ මග පෙන්වීමට අනුව දැන් අවදියෙන් සිට ලොකු හාමුදුරුවො දොර වැසීමට පෙර සංඝාවාසයට ඇතුල් විය යුතුය. පියදාස ගේට්‌ටුව වහන්නට යන්නේ රාත්‍රී දහයටයි. එවිට පිටුපස දොරෙන් ඇතුල් වී ඇඳක් යටට රිංගා ගත යුතුයි. එහෙත් පන්සලට පැමිණි මොහොතේ සිට මේ දක්‌වා සිදු වු සිදුවීම්වලට අනුව එවැනි අපරාධයකට විල්බට්‌ගේ හිතට ශක්‌තියක් නැත.
රාත්‍රී දොළහට රතු මහත්තයා පැමිණීමට පෙර මෙම ස්‌ථානයෙන් පිටවිය යුතු යැයි විල්බට් තීරණය කළේය. පසළොස්‌වක පෝයට තව ඇත්තේ දින හතරකි. පුර පක්‍ෂයේ සඳ තරමක් මුදුන්වී ඇත. බණ මඩුවේ විදුලි බුබුල නිවා දැමූ විල්බට් සඳ එළියෙන් දොර වසාගෙන ගේට්‌ටුව වහන්නට පෙර පන්සල් වත්තෙන් පිටව ගියේය.
ප්‍රේමය ජීවිතය කෙරෙහි මෙතරම් බල පැවැත්විය හැකි එකකැයි මට මීට පෙර සිතී නොතිබුණේය. එහෙත් පසු ගිය අවුරුදු විස්‌ස තුළ සිදුවූ එක්‌තරා සිදුවීම් දෙකක් ගැන සිතත්ම මගේ අදහස සහමුලින්ම වෙනස් විය. මේවා සිදුවී දැනට බොහෝ කලක් ඉකුත් වී ඇතත් මට හමුවන සෑම පෙම් යුවළක් විසින්ම ඒවා මගේ මතකයට යළිත් නංවනු ලැබුවේ අමතකවූ හෝ අතහැරී ගිය සෑම තත්පරයක්‌ම ජීවිතය සඳහා කොයිතරම් වැදගත්ද යන්න ඉවසිය නොහැකි වේදනාවකුත් සමඟ මගේ සිතට පිවිසෙමිනි.
එකල මම රජයේ වින්නඹුවක හැටියට උඩරට එක් රමණීය පෙදෙසක සේවය කරමින් සිටියෙමි. අපේ නිවසට මඳක් ඈතින් වූ කැලෑ බිමෙහි සවි කරන ලද කූඩාරම් කීපයක් අපට පෙනුණේ කුඩා පිරමීඩ සොහොන් කොත් මෙනි. එහි සිටි රජයේ තරුණ මිනින්දෝරුවෝ සෑම හිමිදිරි උදෑසනක පටන් සවස් වනතුරු ඔවුන්ගේ දුඹුරුවන් නිල ඇඳුම් ඇඟලා උස සපත්තු දමාගෙන දුර දර්ශක ද රැගෙන කැලෑ මැන්නෝ ය. එහි මා හඳුනන රවී නම් තරුණ මිනින්දෝරුවෙක් විය.
මගේ කාන්සියත් පාළුවත් මකාලීමෙහි නියතුව සිටි සාධනා මා නැවතී සිටි නිවසේ ගෙහිමියාගේ දුව ය. ඕ බෙහෙවින් රූමත් වූවාය. සිහින් නිකටකින් යුතු රන්වන් මුහුණට ඔබින ඇගේ විශාල දෙනෙත් දියෙහි ඉන්නා මින් යුවළක් මෙන් දඟලයි. මහත් රතු දෙතොල් පියකරු ය.
මා දන්නා තරමට ඇයට කිසිම අඩුපාඩුවක් තිබුණේ නැත. අඩුපාඩුවකට තිබුණේ එකම එක සුළු දුබලකමක් පමණි. ඇය ඕනවටත් එපාවටත් හැම දෙයකටම වාගේ ඉක්‌මනින් කෝප වූවා ය. ඇගේ අහංකාරයෙන් දිස්‌න නඟන දෑසද එයට එකතු වූ විට සාධනා ඊළඟ මොහොතේ කුමක් කරාවිදැයි කිසිවකුට කිව නොහැකි විය. එහෙත් ඊටත් මොහොතකට පසු ඇය කළේ කිසිවක් සිදු නොවූවාක් මෙන් වත්තේද ඉන් එහා ඈත ලන්ද පුරා නැති වූ කිසිවක් සොයන්නාක් මෙන් දුව ඇවිදීම ද අනතුරුව ඉතාම හෙම්බත්වී ගෙට පැමිණ අසුනක ඇලවී සිටීමටද ඉන් ඉක්‌බිති මා පොළොඹවා ගනිමින් කුමක් හෝ කියා සිනාසීම ය.
සාධනා හැමවිටකම මෙන් කිසිවකුට තේරුම් ගත නොහැකි මිහිරි ප්‍රහේළිකාවක්‌ව සිටියා ය. ලන්ද පුරා පියකරු හිරු එළිය වැටුණු සමහර උදෑසනයන්හි මාත් ඇයත් ගත කළේ බොහෝ විට එළිමහනේ ය. එවැනි විටදී දිරුණු අතු ඇති කජු ගස් උඩ ද පෙරළීමට ආසන්න ගල් කුළු මත ද කැඩුණු ගඩොල් බිත්ති මත ද මා කෑගසද්දීම නැග දෙපසට වැනෙමින් අනතුරකට පත්වන්නට යන විට කරන යටිගිරියෙන් කෑගෑම්වලින් ඕ බොහෝ විට මා බිය කළා ය.
අප ඇවිදීමට ගිය මෙවැනි දිනක අර මා හඳුනන තරුණ මිනින්දෝරුවා අප වෙත පැමිණ වචනයක් දෙකක් කතා කිරීමට අමතක නොකළේය. කිසියම් හේතුවක් නිසා සාධනා ඔහුට කැමැති නොවූවාය. පෙනුමෙන් හා කතාවෙන් ඉතා ප්‍රියමනාප එකෙකු වූ ඔහු කතා කරනවාට වඩා කළේ සාධනා දෙස බැලීමට වෙහෙස වීම ය. ඒ හැම විටකම ඇය මගේ පසුපසට මුවා වී ඔහුගේ ඇස්‌වලින් සැඟවීමට තැත් කළා ය. ඔහු නික්‌ම ගිය පසුව ඔහු ඈ ගැන දක්‌වන සැලකිල්ල කියා මම ඇයට විහිළු කළෙමි.
මා ඔහු සම්බන්ධව ඔහුගේ පෙනුම හෝ ඇසුරට ප්‍රිය මනාපගතිය හෝ කියන්නට තැත් කළ හැම විටකම මා නතර කළ ඇය "කූඩැල්ලා" යි තරහින් කීවාය.
"මොකද සධා!"
"මතක් කරන්න එපා එයා ගැන මට පේන්න බෑ. අවතාරායක් වගේ මගේ පස්‌සේ කැරකෙනවා."
"ඇයි සාධා එහෙම කියන්නේ? එයා වරදකට කළේ ටිකක් වැඩිපුර ඔයා දිහා බලන එක නේ. මම එයා නම් මම කරන්නෙත් ඒ ටිකමයි නේ."
"සිසීට හොඳ ඇති එයා. මට ඕනැ නෑ. කවුරුවත් මොකදට මං දිහා බලන්නේ. අනිකු කූඩැල්ලෙක්".
"එහෙම කියන්න එපා රවී හොඳ මහත්මයෙක්".
"ඒ සිසී ඇන්ටිට වෙන්න ඇති. මට එයා කූඩැල්ලෙක්. නිකම්ම කූඩැල්ලෙක්" මහ හඬින් කෑගසමින් මගේ අත ද ගසා දමා සාධනා වේගයෙන් දිව ගොස් ලන්දේ ගස් අතර නොපෙනී ගියා ය.
මින් පසු සාධනා දින කිහිපයක්‌ම මා මගහරිමින් සිටියා ය. මුල් දින කීපයේ වෙනදා මෙන් ඇවිදීමට නොගොස් තම කාමරයට වැදී දොර වසා ගෙන නිශ්ශබ්දව සිටි ඇය අවසානයේදී ශෝකභරිත හා අනුකම්පා උපදවන සුළු මුහුණක් ඇතිව මා වෙත ආවා ය. මගේ ඇඟට හේත්තු වී ටික වේලාව්ක නිහඬව ඇය ඈතපෙනෙන කඳුවැටිය දෙස බලා සිටියා ය. ගිම්හානයේ සුදු වලාකුළු කන්ද මුදුනට පැමිණ නතර වී තිබුණේ ය. වලාකුළට යටින් රංචු ගසමින් ගිරව් පියාසර කළෝ ය. විටින් විටහමන මඳ සුළඟින් බෝවිටියා පඳුරු ඒ මේ අත නැළවුණේය.
"සිසී ඔයා කැමැතිද මා හිරේ වැටෙනවා නම්?" ඈ හදිසිසියේම මගේ දෙඋර අල්ලා ගෙන ඇසුවාය.
"මොන පුදුම ළමයෙක්‌ද මේ? ඇයි සාධා ඔයා මොන වරදක් කළාට ද?" මම ඇගේ මැළවී තිබුණ මුහුණ අතගාමින් ඇසුවෙමි.
"එහෙනම් මොකද කසාද ගැන කියන්නේ? මම කැමැති නෑ සිසී කවදාවත් කැමැති නෑ. තව නාඳුනන කෙනෙක් මගේ ජීවිතේට ඇතුළු වෙනවාට. මම කැමැති නෑ එතකොට මගේ මේ නිදහස සේරම නැතිව යනවා. එතකොට මට මේ විදියට ඉන්න පුළුවන්ද? කඳු උඩ දුවන්න හිතෙන වෙලාවට ඇවිදින්න ගී කියන්න නටන්න අනේ මට බෑ සිසී" කියමින් සාධනා හඬන්නට වූවා ය.
"අනේ ඇත්තට මෙහෙමත් ළමයෙක්!" කියමින් මම ඇගේ පිට අත ගෑවෙමි. ඇගේ සිත සැනසීම පිණිස මා කියූ ආදරය පිළිබඳ අදහස්‌වලින් ඇය වඩාත් කරදරයට පත්වූ බව මට පෙනේ. ඉන්පසු මම ඒ ගැන කතා නොකරන්නට සිතා ගතිමි.
සාධා කෙමෙන් මගේ ඇසුර අඩු කළා ය. තනිවම එහෙ මෙහෙ යැමට පටන් ගත් ඇය කිසිවිටකත් ඒ ගමන් ගැන කිසිවක් වෙනදා මෙන් මට නො කීවාය. එවැනි ගමනක් ගොස් පැමිණි බොහේ විට ඈ කළේ තනිවම සුසුම් හෙළමින් කල්පනා කිරීමය.
ඇගේ ගමන් බිමන් ගැන සෙවීමටද මට අවශ්‍ය නො වීය. මවුපියෝ ද පමණකටත් වඩා ඇය කෙරෙහි විශ්වාස තැබුවෝය.
මිනින්දෝරුවන් කූඩාරම් ගසා ගෙන සිටි පෙදෙසහි තිබූ කතුරුමුරුංගා ගසෙහි මල් කඩා ගැනීම පිණිස දිනක් මම ඒ දෙසට ගියෙමි. මා යන විටද සාධනා ගෙදර නො සිටියාය. අමාරුවෙන් අතු පාත්කර මල් නෙළමින් සිටි මට කාගෙදෝ සිහින් සිනාහඬක් ඇසිණ. මම මුරුංගා ගස ළඟ වූ කුඩා ගල් වැටියට නැඟ අවට බැලීමි.
සාධනා ඇගේ මල් වැටුණු සායෙන් හා රතු හැට්‌ටයෙන් සැරසී බෝවිටියා මලක් පැළඳ සිටියා ය. තනි කරලට ගොතා උරහිසින් ඉදිරියට දමන ලද ඇගේ දිගු කෙස් කැරළි අල්ලාගෙන හිස ඇල කරගෙන තරුණ මිනින්දෝරුවාට නොඉවසිල්ලෙන් ඇහුම්කම් දෙමින් සිටි විලාසය ඉතා දැකුම් කළු විය. අනතුරුව ඇය මඳක් ඉදිරියට ගොස් රවීගේ පසෙකින් හිඳ එහි වූ මිනින්දෝරු දර්ශකයට ඇස තබා බැලුවාය. සාධනා එදින ගෙදර පැමිණියේ තරමක් අඳුරු වැටුණාටත් පසු ය.
රවී විශ්වාස කළ හැකි මා දන්නා හඳුනන වැදගත් තරුණයකු වූ බැවින් මේ ගැන කලබල ඇති කිරීමට මට අවශ්‍ය නොවීය. එහෙත් මා කළේ කතුරුමුරුංගා මල් කැඩීම බොහෝවිට ඇයටම පවරා ඇය යන තැන මා දන්වා බව ඇයට ඇඟවීමට ය. මගේ කාරිය ඈ භාර ගත්තේ දැඩි ඇල්මකින් නොව කැමැත්තත් අකැමැත්තත් එක්‌වූ මිශ්‍ර හැඟීමකින් යුතුව යයි මට සිතිණ. මාසයකට පමණ පසු තම කටයුතු නිමා වූ බැවින් මිනින්දෝරුවෝ ස්‌වකීය කූඩාරම් ගලවා වෙනත් පෙදෙසකට යැමට සූදානම් වූහ.
පිටවී යන්නට ප්‍රථම රවී අප දැකීමට පැමිණියේ ය. ඔහු සිටියේ කිසියම් කනස්‌සලු ස්‌වභාවයකටත් වඩා වියළුණු මුහුණකිනි. එදින සාධනා ඔහු මගහැර සිටිනු දැක මම මවිතයට පත්වීමි.
ඔවුන් නික්‌ම ගොස් සතියක් පමණ යනතුරුම සාධනා කාමරයෙන් වැඩිපුර එළියට නොආවා ය. ඇගේ සිතෙත් ගතෙත් ලොකු වෙනසක් ඇති වෙමින් තිබුණු නමුත් එය පිටතට නොපෙන්වා යථා ලෙස හැසිරීමට ඇය අසාර්ථක උත්සාහයක් ගත්තා ය. එහෙත් ඇය දැඩි සිත් තැවුලකින් පෙළෙන බව කාටත් දැනුණේය.
ඇයට මඟුල් යෝජනාවක් ගෙනෙන ලද්දේ මේ අතරතුරේදී ය. මනමාලයා නොදැකම එය තදින්ම ප්‍රතික්‍ෂේප කළ සාධනා කපුවා සොයාගොස් ඔහුට හොඳටම බැණ වැදුණාය. දෙමවුපියන්ගේ සියලු උත්සාහයත් ඇගේ විරෝධය හමුවේ අසරණ විය.
කාලය අලස ලෙස ගෙවී ගියේය. ඉතා උදාසීනව සිටි සාධනා අසනීප බව කියන්නට පටන් ගත්තා ය. මුලින්ම ඇයට උණක් වැළඳිණ. ඉන්පසුව කෑම අරුචිය ඇඟ පතත් හිසත් තදින්ම කකියන බව කියමින් මුළු දවස පුරාම ඇඳට වී සිටි සාධනා සතියක් තුළදී කතා කර ගැනීමට අපහසු අන්දමට බලවත් සේ ගිලන් වූවාය. බලා සිටියදීම වැහිරී ගිය ඇගේ රෝගය හඳුනා ගැනීමට වෛද්‍යවරුන්ට පවා අපහසු විය. මවුපියෝ අතිශය වේදනාවට පත්ව ඇයට කැමැති කෙනකු හා විවාහ වෙන්නැයි කියා සිටිය හ. ඇගේ සුරතල් දඟකාර ස්‌වබාවය වෙනුවට ගෙදර ඉතිරිව තිබුණේ ඉපලක් වැන අබලන්වූ ශරීරයකි. මා ඇය වෙතට ගිය හැම විටකම ඇය ඇගේ මැලවුණු ගිලී ගිය දැසින් කිසිවක් පවසන්නට තැත් කරන්නාක් මෙන් බලා සිට ඇගේ දුබල අත් දෙකින් මා වැළඳ ගෙන හඬන්නීය. මම දන්නා තරම් කරුණු කියා ඇය සැනසීමට තැත් කළෙමි.
එහෙත් වැඩි කලක් ඇය මේ දුක නොවින්දා ය. කාටත් කිසිවක් ගැන සිතන්නට ඉඩක් නොතබා සාධනා මාස හයකටත් අඩු කාලයක් තුළදී එක් රාත්‍රියකදී යළි නොනැගිටින සේ නින්දට වැටුණාය.
ඇය සමග ගෙදර ප්‍රීතිය ද ඕ රැගෙන ගියා ය. මට තව දුරටත් ඒ ගෙදර විසීම එපා විය. මම මාරුවක් හදාගෙන වෙනත් පළාතකට ගියෙමි. ඒ යන ගමන් මම සාධනාගේ ඉක්‌මන් අත් අකුරින් ලියන ලද ඇගේ අල්මාරියේ තිබීමා සොයාගත් කුඩා ලිපි කැබැල්ලක් සිහිවීම පිණිස ගෙන ගියෙමි. එම ලිපිය කාට ලියන ලද්දක් දැයි කිව නොහැකි නමුත් එය මෙසේ විය.
"මට ඔබව හැමදාම දකින්නේ නැතුව ඉන්නට බැරිව යන්නේ මොකද? ඔබ යන්නේ මොකද? ඔබ සමඟ කතා කරන්නටත් ඔබ සමඟ නිතරම ගැවසෙන්නටත් මට සිතෙන්නේ ඇයි? ඔබ නැති තැන තනි කමක් දැනෙන්නේ ඇයි? ඔබ යළිත් දකිනතුරු ඉවසිල්ලක් නැත්තේ කුමක් නිසාද? කවදාවත් කිසිවකු නිසාවත් මා මෙතෙක් පත් නොවුණු තත්ත්වයකට මා පත්වී ඇතැයි මා ඔබට කියන්නේ කෙසේද? මගේ හිතවත! මේ සියල්ලටම වගකිව යුත්තේ ඔබයි."
මා ඒ පළාතට ගොස් අවුරුදු පහක් ඉක්‌ම ගියත් සාධනා මගේ සිතෙන් ඉවත් කිරීමට මට අපහසු විය. ඇගේ සුරතල් සිනාවත් ප්‍රීතිමත් දඟකාර භාවයත් පිළිබඳ මතකයන් මා වටා නිතර දෙවේලේ සැරි සැරූහ.
දිනක් වැඩ ඇරී මා නිවසට එනවිට දුටු දෙයින් මගේ වේදනාව අලුත් විය. මිනින්දෝරු කූඩාරම් වගයත් පාරේ අයිනට වෙන්නට සවි කොට තිබිණ. මා ඉන්පසු ඒ පාරෙන් නොයන්නට සිතා ආපසු හැරෙන්නට තැත් කළා පමණි. කිසිවකු මගේ නම කියා කෑ ගැසුවේය.
"සිසී ඇන්ටි! සිසී ඇන්ටි!"
"දෙයියනේ රවී"
ඔහුගේ බලවත් ඇවිටිල්ල නිසා කූඩාරමට නොගොස් යෑමට නොහැකි විය.
"අපි දැන් පාරවල් මනිනවා නේ! ඇයි කතුරුමුරුංගා මල් කඩන්න ආවාද?" යි ඔහු විහිළුවට මෙන් ඇසුවේය. මට සාධනා සිහිපත් විය. මම ඔහු දෙස හිනාවෙන් තොරව බැලුවෙමි. මේ අවුරුදු පහට රවි බෙහෙවින් වෙනස්‌වී සිටියේය. සිරුර බෙහෙවින් කෘෂ වී තිබුණු අතර මුහුණේ රැලි කීපයක්‌ද විය. හිසෙහි අතරින් පතර පැසුණු කෙස් පෙනිණ. එහෙත් ඔහු තවම අවිවාහකව සිටියේ ය.
ඔහුට තදින් කතා කිරීමට මට ඇතිවුණ අදහස මම මැඩ ගත්තෙමි. ඔහුට විස්‌තර අවශ විය. ඔහු යට ගිය කතා පුවත අසා සිටියේ මහත් දුකින් හා විස්‌මයෙන් පිරී ගිය දැස ඇතිව ය. ඒ මිනිත්තු කීපය ඇතුළත ඔහු දැඩි ලෙස මැලවී ගියාක් මෙන් පෙනිණ.
"මහත්තයාට ඒ අසරණ කෙල්ල ගැන ටිකක්‌වත් සළකා බලන්න තිබුණ. " මම අවසාන වශයෙන් කීවෙමි. බොහෝ වේලා නිහඬව සිටි ඔහු කල්පනාකාරීව මෙසේ ඇසීය.
"මොහොතක් වත් එයා මා ගැන සිතුවාද කියන එක සිසීට විශ්වාසද? " මම ඇයට දහස් වාරයක් ආදරය කළ බව සිසීට ඔප්පු කරන්න මම යන්නේ නැහැ. ඒත් මම එහෙන් ආවෙත් හිස් හදවතකින්. පසුගිය අවුරුදු ගණන තිස්‌සේ මම කළේ ඇය මගේ සිතෙන් මකා දැමීමට නොවිඳිනා දුක් විඳින එකයි".
සාධනා තමා රවිට ආදරය කළා යෑයි කිසිදාක මට නොකී බැවින් ඔහුගේ ප්‍රශ්නය හමුවේ මම අසරණ වීමි. එහෙත් මා අසා ඇත්තේ සැබෑ ආදරවන්තයන් ඒවා උනුනුන්ටවත් නොකියන බව ය. මගේ තර්කය ඔප්පු කිරීමට සාධනාගේ ලිපි කැබැල්ල ඔහුට පෙන්වීම තරම් මෝඩකමක් මේ ජීවිතය තුළදී මෙතෙක් මා කර නැත.
ඇත්තෙන්ම මම මෝඩ ගැහැනියක වී ඉන් මාසයක් යනතුරුම රවී මට හමු නොවීම ගැන ද මා සිතුවේ ඔහුට වැඩ අධික නිසා එසේ වූ බව ය. මුලින්ම ඔහු හමුවූ දින ඔහුට චෝදනා කිරීම ගැන දැඩි සන්තාපයට පත්ව සිටි මම දිනක් ඔහු හමුවීමට ගියෙමි. ඔහු ලිපි කැබැල්ල කියවා හඬා වැළපෙන්නට පටන් ගත් සැටිත් එය මගෙන් ඉල්ලා ගත් හැටිත් මට සිහි විය.
සැකයෙනුත් බියෙනුත් යුතුව මා කාමරයට ඇතුළු වනවිට ඔහු ඇඳෙහි වැතිරී සිටියේ ය. සථ්‍යයෙන්ම මා රවී එහි සිටීදැයි දැනගත්තේ තවත් වරක් එදෙස බැලීමෙනි. විශාල කොට්‌ට අතර තබන ලද කුරුමිට්‌ටෙකු මෙන් පෙනුණු ඔහු වැහැරී දුක් උපදවන තත්ත්වයකට පත්වී සිටියේය.
"පුතාට සනීප නැති වෙලා දැන් මාසයකටත් වැඩියි. කොච්චර බේත් කළත් සනීපයක් නැහැ. ලෙඩ සනීප කරගන්න කිසිම කැමැත්තකුත් නෑ. ඔහේ ඉඳගෙන සුසුම් හෙළනවා. දැන් හරියට සිහිකල්පනාවත් අඩු වගෙයි. "මම රවී දෙස ශෝකයෙන් බලා සිටින විට ඔහුගේ මව මා වෙත පැමිණ කෙඳිරුවා ය.
"තවදුරටත් මා ජීවත් වන්නේ නෑ සිසී" මා හඳුනාගත් ඔහු අමාරුවෙන් කීවේය. ඔහු සැනසීමට කොතෙකුත් දේ කීවෙමි. අතීතය වෙනුවෙන් පසුතැවිලි වී පලක් නොමැති බවත් සාධනා මියගොස් ඇති බවත් ඔහු විශ්වාස නො කළේය.
"ඇයි රවි මැරුණු ගැහැණියක් ගැන හිතන්නේ? අවුරුදු පහකට හයකට කලින් සිදුවුණු දෙයක් ගැන?"
"ඒක මට අලුත් දෙයක් සිසී. අද ඊයේ වුණ දෙයක්. එදා එයා මට ප්‍රේම කළ බව අද දැන ගැනීම හරියට එයා මට ඒක ඊයේ කිව්ව වගේ සතුටක්. ඒත් එයා මැරිලා අවුරුදු ගානක් ගෙවිලා කියන එක මට දරාගන්න බැහැ. සිසී එයා මැරිලා නෑ සිසී එයාගේ ආත්මය මෙතැන තාම ජිවත් වෙනවා." යි ඔහු තම දුබල අත ඔසවා හදවත පෙන්වමින් කියනු මා බලා සිටියේ කම්පාවට පත්වෙමිනි.
දෛවය ඔවුන් දෙස බලා ඇත්තේ කෲර ඇසකිනි. ඇය තමාට පෙම් කළ බව ඔහු දැන ගත්තේ මේ නොබෝදා ය. එවිට ඇය මොලොව නැත. එහෙත් ඔහු තැවෙන්නේ ඒ නිසාම නොව දවසක දෙකක පමාවක් නිසා සිදුවූ එම අකාරුණික අතපසු වීම වෙනුවෙනි. දෛවයට සිදුවූ වරද කෙසේ නම් නිවැරැදි කළ හැකි ද?
පසුවදා ඔහුගේ බලවත් නොකැමැත්ත පිටම මම ඔහු රෝහලට ගෙන ගියෙමි. මා හඳුනන දොස්‌තර මහතා සති ගණනක් තිස්‌සේ ඔහු පරීක්‍ෂා කළේය. එක්‌ස්‌රේ සේයා බේත් පෙති එන්නත් සියල්ල නිමවීමෙන් පසු දොස්‌තර මහතා මා කාමරයට කැඳෙව්වේය.
"ලෙඩාව එක්‌කරගෙන ගිහින් ඕනෑ දෙයක් කන්න බොන්න දෙන්න."
"ඩොක්‌ටර්!"
මගේ දෙකන් නෑසී දෙඇස් නොපෙනී ගියේය. ඔහු කීවේ රවි මිය යන බ වද? ප්‍රේමයත් ජීවිතයත් දෙකම එකසේ දුක් දෙන්නක් නොවේද? රවීගේ ඉරණම අවුරුදු ගණනකට ඉහත සිදුවී මාසයකට ඉහතදී දැනගත් පුවතක ප්‍රතිඵලයක් යයි සිතත්ම හද වාවාගත නොහැකි තරම් ය.
ලීලානන්ද වික්‍රමසිංහ
හදිසි ගමනක් ගොස් රෑ බෝවූ බැවින් ආපසු යැම සඳහා මා ඉක්‌මනින් කුලී රියක් සොයා ගියා. මා දුටුවා නගරයේ කෙළවර කුලී රියක් නතර කර තිබෙනවා. නමුත් එහි සියලුම ජනේල වසා තිබුණා. එහෙත් රියෑදුරු අසුනේ කිසිවකු වාඩි වී සිටියා.
ඔහු කිසියම් දෙයක් කියවමින් සිටින බවයි මට පෙනුණේ. ඔහු කොතරම් අවධානයක් ඒ සඳහා යොදා තිබුණේදැයි කිවහොත් මට කීපවරක්‌ම ජනේල වීදුරුවට තට්‌ටු කරන්නට සිදු වුණා. රියෑදුරා සමාව යදින දෑසින් මා දෙස බලා රථයේ පසුපස දොර ඇරියා. මා පසුපස අසුනට ගොඩ වී හරිබරි ගැහී වාඩි වුණා.
"මට සමාවෙන්න මම ලියුමක් කියවමින් සිටියේ"
"ඕ.. කමක් නෑ. ගෙදරින් ආපු ලියමනක් වෙන්න ඇති. සමහර විට ඔබේ පුතාගෙන් එහෙම නැත්නම් මුණුබුරාගෙන්" ඔහුගේ වයස ගැන සිතමින් මා කීවා.
"නෑ ගෙදරින් නෙවී." ඔහු කෙටියෙන් පිළිතුරු දුන්නා. "මේක මගේ මිතුරෙකුගෙන්. එඩී මගේ බොහොම පරණ යාළුවෙක්. ඒ කාලෙ අපි ඉස්‌කෝලෙ ගියෙ එකට. එකම පන්තියේ හිටියේ."
"ඒක හරි. ඒත් හුඟක් අය ඔයතරම් දිග මිත්‍රකම් පවත්වා ගෙන යන්ට තරම් වාසනාවන්ත නෑ" මා කීවා.
"ඇත්තටම පහුගිය අවුරුදු විසිපහ තුළම මට මගේ මිත්‍රයා වරකට දෙකකට වඩා හමුවෙලා නෑ.... එයා මනුස්‌සකම් දන්න මිනිහෙක් වෙලා හිටියා."
"මොකද ඔබ එහෙම කියන්නේ "වෙලා සිටියා" කියලා?"
"මීට සති දෙකකට විතර කලින් ඔහු මියගිහින්. මහත්තයා"
"ඇත්තට. හොඳ මිත්‍රයකු නැතිවීම ගැන මටත් හරි කනගාටුයි"
ඔහු මිනිත්තු කීපයක් නිහඬව රථය පදවාගෙන ගියා. "මම ඒ මිත්‍රකම නොකඩවා පවත්වාගෙන යා යුතුව තිබුණා" ඔහු තමාටම කියා ගත්තා.
"ඔබ කියන දේ ඇත්ත. අපි අපේ මිතුරන් සමඟ නිතර අප සිතනවාටත් වඩා සම්බන්ධකම් පවත්වාගෙන යන්නට ඕන. නමුත් ඒකට වෙලාව තමයි හරස් වෙන්නේ."
"ඒත් අපි කොහොම හරි වෙලාව හොයා ගන්න ඕන නේ. අඩු ගණනේ මේ වගේ ලියුමකින්වත්. මෙන්න මේ ලියුම කියවලා බලන්න" ඔහු මා දෙසට ලියුම දිගු කරමින් කීවා.
"නෑ. බොහොම ස්‌තුතියි. මම ඔබේ ලියුම කියවන එක හරි නෑ. ඒක ඔබටත් ඔබේ මිත්‍රයාටත් අයිති පෞද්ගලික එකක්."
"ඒකට කමක් නෑ සර්. මගේ මිත්‍රයා දැන් ජීවතුන් අතර නෑ"
මම ලියුම අතට ගෙන බැලුවා. පැන්සලකින් ලියා තිබූ ඒ ලියමන ආරම්භ කොට තිබුණේ අප මොහොතකට කලින් කී දෙයකින්මය.
"........... බොහෝ කලක සිට ඔබට ලියන්නට සිතුවත් මට තියෙන දහසකුත් වැඩ එයට ඉඩ දුන්නේ නෑ.........."
තම පැරැණි මිත්‍රයා සමග තමා අතීතය ගත කළ ඒ මිහිරි කාලය ගැන ඔහු ඉන්පසු ලියුමේ සඳහන් කර තිබුණා. ඔවුන්ගේ තරුණ විය පිළිබඳ සුන්දර මතකයන්ද එහි අඩංගු වී තිබුණා.
"ඔබ දෙදෙනා එකම තැන වැඩ කළාද?"
"නෑ මහත්තයා, ඒ වුණාට අපි තනිකඩව ඉන්නා කාලේ නිතරම ගත කළේ එකට. විවාහ වුණාට පස්‌සෙත් දෙන්නගේම ගෙවල්වලට නිතර ආව ගියා. නමුත් පස්‌සෙ පස්‌සෙ අපිට හමුවෙන්නට සිදුවුණේ නත්තල් සුබපැතුම්පත් මගින් පමණයි."
"මෙන්න ඔබේ ලියුමේ තවත් හොඳ තැනක්"
".............. කලකට ඉහත ඔබ සමඟ ගත කළ ඒ සදාදරණීය ඇසුර වචනවලින් විස්‌තර කරන්නට බැරි තරම්...."
"මම හිතනවා මේ ලියුම ඔබේ සිතට ලොකු සැනසීමක් දෙන්න ඇති." රියැදුරා කිසිවක් කීවද එය එතරම් පැහැදිලිව ඇසුණේ නැත.
"මගේ පරණ මිත්‍රයකුගෙන් මේ වගේ ලියුමක් මටත් එනවා නම් මටත් මොනතරම් සතුටක් ඇති වේවිද?" යි මම නැවතත් ඔහුට කීවා.
ලියුම අවසන් කර ඇති වාක්‍යයත් සිත්ගන්නා සුලුයි. එය මෙසේයි.
"............ මම හිතනවා ඔබ දන්නවා ඇති ඔබ නිරන්තරයෙන් මගේ සිත තුළ වාසය කරන බව. මෙයට ඔබේ පැරැණි මිත්‍රයා - ටොම්"
ටැක්‌සි රථය මා නැවතී සිටි හෝටලය ළඟ නැවැත්වූ පසු මම ලියුම නවා ඔහුට ආපසු දෙමින් මෙසේ කීවා.
"ඔබ සමඟ කතා කිරීමට ලැබීමත් ලොකු සතුටක්. ඒත් ඔබ කීවා නේද ඔබේ යාළුවාගේ නම 'එඩී' කියලා. මොකද මේ ලියුමේ 'ටොම්' කියලා අත්සන් කරලා තියෙන්නේ?"
"මහත්තයා, මේ ලියුම එඩී ලියපු ලියුමක් නෙවී. ටොම් කියන්නේ මටයි. එඩී මළ බව දැන නොගෙන මම කලින් ඔහුට ලියපු ලියුමක් මේ. මං ඒක තැපැල් කළේ නෑ." කියූ ඔහු රථය පදවා ගෙන ගියා.
මම හෝටලයේ කාමරය වෙත ගොස් ඇඳුම් බෑගය ඇඳ මත දමා එහෙමම වාඩි වුණා. මගේ සිත බරවී තිබුණා. මට මැවී පෙනුණා මියයන තෙක්‌ම තම ආදරවන්ත මිතුරාට ලියුමක් තැපැල් කරගන්නට බැරි වූ අර අසරණ රියැදුරාගේ දුක්‌බර මුහුණ. මම එදා කළ පළමුවැනි කටයුත්ත නම් මගේ පැරැණි මිත්‍රයාට ලියුමක් ලියා තැපැල් කිරීමයි.
හොරු ඇවිත්
ගාමිණී අබේවික්‍රම
සිළුමිණ, සත්මඩල
“තාත්තේ. තාත්තේ”
පියසිරි නින්දෙන් නැගිට්ටේ පුතුගේ ඇමතීමෙනි. තද නින්දක සිටියද, ඇහැරීමත් සමඟ දැන් මැදියම් රැයත් ඉකුත්ව ගොස් ඇතැයි ඔහුට සිතිණි.
“ඇයි පුතේ.. මොකෝ.. මොකෝ...?” ඔහු ඇසුවේ කලබලයෙනි.
“කෑගහන්න එපා තාත්තේ. හෙමින් හෙමින්” පුතු කනට කර කෙඳිරීය. ඔහු අත ඇති ජංගම දුරකතනයේ බල්බය දැල්වෙනු පියතිස්ස දිටීය.
“මොකද වෙලා තියෙන්නේ? අම්මගේ ප්‍රෙෂර් වැඩිවෙලාද?”
“නෑ. නෑ එහා ගෙදරට හොරු ඇවිල්ලා”
“හොරු ඇවිල්ලා? එහා ගෙදර කිව්වේ...”
“අර ජයසිංහලය ගෙදරට...”
“අපොයි දෙයියනේ. කොහොමද දන්නේ?” පියසිරි හනිහනිකට ඇඳෙන් බැස්සේ බුරුල්ව තිබූ සරම ඉෙණ් දවට ගනිමිනි.
“අඩි සද්දයක් ඇහෙනවා.”
“යමු බලන්න”
පියසිරි ඇඳ යටට එබී විදුලි පන්දම අතට ගන්නට සැරසිණි.
“එපා එපා ටෝච් එක ගහන්න එපා”
“හ්ම්... එහෙනම් යමු බලන්න”
පුතා ජංගම දුරකතනයේ බල්බය ටීෂර්ටය කෙළවරකින් වසා ගත්තේය. දැන් ඉන් නිකුත්වන එළිය පෙනෙන්නේ යන්තමිනි. පියසිරි පුතු පිටුපසින් සෙමෙන් සෙමෙන් උඩු මහලට ගමන් කළේය. උඩු මහලේ සාලයේ පිටුපසට වන්නට උසින් හා පළලින් වැඩි ජනේලයක් ඇත. එහි සිට බැලූ විට ජයසිංහලාගේ ගෙදර හොඳින් පෙනේ.
පිය පුතු දෙපළ එතැනට යනවිට බිරිඳ විමලාත්, දියණියන් දෙදෙනාත් ජනෙල් තිරය මඳක් ඈත් කර ඊට එබීගෙන සිටිනු පෙනිණ.
“මොකෝ වෙලා තියෙන්නේ?” පියසිරි ඇසීය.
“අරුන්ගේ ගෙදරට හොරු පැනලා” අඳුර නිසා පියසිරිට බිරිඳගේ මුහුණ නොපෙනුණ ද මේ මොහොතේ ඇගේ මුහුණේ ප්‍රබෝධමත් පෙනුමක් ඇති වග ඇගේ කටහඬින් ඔහු හඳුනා ගත්තේය.
ජයසිංහ වසර දෙකකට පමණ පෙර පිටුපස ඉඩම මිලට ගෙන මාස හයකට පමණ පෙර පදිංචියට ආවේය. දෙමහල් නිවසේ උඩ කොටස තවම ඉදිවෙමින් පවතින අතර බිම් මහලේ ඔවුහු පදිංචිව සිටියහ. ජයසිංහ සමඟ ඔහුගේ බිරිඳ හා තරුණ දියණියන් දෙදෙනාද වූහ. ඔහු කුමක්දෝ සංස්ථාවක සැපයීම් නිලධාරියාය. පියසිරි ඔහු හා ඇයි හොඳයියක් නැතත් ඉඳහිට මගතොට හමුවූ විට අහක බලාගත්තේ නැත.
ඔවුන් පදිංචියට පැමිණි දා සිට බිරිඳ ගේ හිත හොඳ නැත. ඇය ඔවුන්ගේ මොනවා හෝ වරදක් දකී. බිරිඳ ගේ මේ පුරුද්ද දියණියන් දෙදෙනාට ද බෝවී ඇති වග පියසිරිට රහසක් නොවීය. ඔවුන් වැඩිපුර වැරදි දැක්කේ ජයසිංහගේ බිරිඳ ශාන්ති ගේ ය. එහෙත් එසේ වරදක් දැකීමට තරම් ශාන්තිගේ වරදක් සිදුව නැති වග පියසිරිට පැහැදිලිය.
ගෑනුන්ගේ හැටි ඔහොම තමයි. ඉරිසියාව. පියසිරි සිතීය.
“පොඩ්ඩක් කන්දීගෙන ඉන්න” විමලා පියසිරි ගේ කනට ළංවී මිමිණුවාය. ඔහු ජනෙල් තිරය මඳක් විවර කර ජයසිංහ ගේ ගේ දෙස බැලීය. පැහැදිලිව කිසිවක් පෙනෙන්නේ නැත. හද්දා කරුවල පමණය.
“අන්න අන්න තාත්තේ අඩි සද්දයක් ආව”
ඒ කීවේ වැඩිමහල් දියණියයි.
“මට නම් ඇහුෙණ් නෑ.”
“මොකද අනේ නැත්තේ? මටත් ඇහුණා.” බිරිඳ කීවාය.
“හරි එහෙනම් අපි ජනේලේ ඇරලා ටෝච් එක ගහමු. එතකොට හොරු පැනලා දුවන්නේ නැතෑ”
“ඔයාට පිස්සුද?” බිරිඳ කඩා පැන්නාය. අන්තිමට හොරු අපි එක්ක වෛර බැඳීවි උන්ගේ හොරකම කරගන්න දුන්නේ නෑ කියලා. මතක නැති වුණාද මේ ගෙදර කෙල්ලෝ දෙන්නෙක් ඉන්න විත්තිය.
* එහෙනම් මම ඉස්සරහ ගෙදර සුමනෙට කෝල් කරල කියන්නම්. ඌ ඕන එකකට ඔට්ටු එකානේ.”
“එපා. එපා ඕන නෑ”
“එතකොට ඔයා කියන්නේ හොරුන්ට ඕන දෙයක් කරගන්න දීලා බලා ඉන්න කියලද?”
“ඔව්. අපිට මොකදට අනුන්ගේ දේවල්?
පියසිරි යළි ජනේලයට මුහුණ ළං කළේය. ඉන්පසු අගුල කරකවන්නට සැරසිණි.
“ඔයාට පිස්සුද මනුස්සයෝ. සද්ද කරන්න එපා. උන්ට ඇහේවි.”
“අන්න තාත්තේ සද්දයක් ආවා. ඒ ආවෙ ගරාජ් එක පැත්තෙන්. ගරාජ් එකේ තාම දොරවල් ගහල නෑනේ. ෂුවර් එකටම ස්කූටිය උස්සන්නයි යන්නේ.” ඒ හඬ පුතාගේ ය.
“මම නම් හිතන්නේ බයික් එක නෙවී පුතේ කාර් එක ගෙනියාවි. කී ලක්ෂයක්ද?” බිරිඳ කතාවට හවුල්වන හඬ පියසිරිට ඇසිණි.
“ඇයි ජයසිරිලා පිංකම් ගෙදර ගිහින් තියෙන්නේ කාර් එකේ නෙවීද?” පියසිරි බිරිඳගෙන් විමසීය.
“නෑ නෑ මං බලාගෙන හවස කට්ටියක් පුරෝගෙන වෑන් එකක් ආවා. මේ ගොල්ලොත් ඒකේ නැගලා ගියා”
“ඔයා ඉස්කෝලේ ගිහින් ආවට පස්සේ මේ ජනේලේ ළගට වෙලාමද ඉන්නේ?”
පියසිරිට එසේ ඇසීමට සිතුණද ඔහු ඇසුවේ නැත. විමලා පියසිරි පසෙකට කර යළි ජනේලයට ඇහැ තිව්වාය.
“ආ. පුතේ. කාර්වල සයිඩ් කණ්ණාඩි හරි ගණන්ලු නේද? මං දැක්කා ඊයෙත් ප්‍රවෘත්තිවලට පෙන්නවා. මේ ටවුන් එකේ නවත්තලා තියෙන කාර්වල සයිඩ් කණ්ණාඩි සුටුස් ගාල ගලවගෙන යනවා”
විමලා කීවේ ජනෙල් රෙද්ද තවත් මඳක් ඈත් කරමිනි.
“ඇයි අර කාර්වල නම ගහල තියෙන නිකල් ප්ලේට් එහෙමත් ගලවගෙන යනවලු නේද?”ලොකු දුව ඇසුවාය.
“ෂුවර් එකට ම එහෙනම් ඒවත් ගලවාවි.”
බාල දියණියගේ හඬ ප්‍රබෝධවත් ය.
“මම නම් හිතන්නේ ස්කූටිය ගෙනියන්න හදනවා”
“මේ අපි මෙහෙම ඉන්න එක හොඳ නෑ නේද? තරහකාරයකුට වුණත් විපතක් වෙද්දි අහක බලන එක වැරදියි. මම සුමනේ අඬ ගහගෙන ඒ පැත්තට යනවා. කෝ ගන්න ඔය ටෝච් එක.”
පියසිරි කීවේය.
“විකාර කරන්න එපා මනුස්සයෝ. උන් එකෙක් ඔය කරුවලේ ඉඳගෙන පොල්ලකින් ඔළුවට පත බෑවොත් කාට කියන්නද? මම නම් කියන්නේ ඕකුන්ට ඔහොම වෙන්නම ඕන අර ගෑනිගේ රැස් බහින්නත් එක්ක.”
මෙතෙක් රහස් හඬින් කතා කළ බිරිඳගේ හඬ දැන් පෙරට වඩා වේගවත් යයි පියසිරිට සිතිණි.
“මහ ගෑනි විතරක් නෙවී. දූලත් එහෙමයි. අර පොඩි එකී හරි සක්කර වට්ටම. මම දැන් දවස් දෙකක් දැක්ක කොල්ලෙක් එක්ක කතා කර කර ඉන්නවා.”
ලොකු දුව කීවාය.
“උඹ යනව එහෙම නෙවෙයි පුතේ උන් එක්ක කතාවට.”
බිරිඳ ජනේලයෙන් මෑත් වෙමින් කියද්දී පියසිරිට ශබ්දයක් ඇසිණි.
“අන්න සද්දයක් ආවා. අපේ ගේ පිටිපස්සෙන්ද?” පියසිරි ඇසීය.
“ඔයාට පිස්සුද? මට නම් ඇහනේ අරුන්ගේ ගේ පිටිපස්සෙන්. ඕකුන් ගේ වටේටම දාලා තියෙන්නේ අර සී.එෆ්.එල්. බල්ම් නේද? ඔය ටික ගලවගෙන ගියොත් හොඳ ගානක් ගත හැකි.”
විමලාගේ කට හඬේ යළි ප්‍රබෝධවත් බවක් තැවරී ඇති වග පියසිරිට දැනිණ.
“අන්න ආපහු සරාස් ගාලා සද්දයක්...”
“හරි. මම දැක්ක ගේ පිටිපස්සේ බංකුවක් තියෙනවා. ෂුවර් එකට ම බංකුව ගන්න ඇති බල්බ් ගලවන්න.”
“හොරුද? එහෙම නැත්නම් හරකෙක් වත්තට පැනලද? මට නම් ඇහුෙණම කොළ පොඩි වෙන සද්දයක්.” පියසිරි කීවේය.
“මොන හරක්ද? ඉස්සරහින් තාප්පෙ බැඳලා. තුන් පැත්තකින් කම්බි ගහලා. හරකෙකුට එන්න පුළුවන්ද?”
“මට නිදිමතයි. මම යනව නිදාගන්න.”
පියසිරි බිත්තියට හා ඇඳන්වලට අත තබාගෙන කාමරයෙන් පිටවීමට සැරසෙද්දී පුතා දුරකතනයේ බල්බය දල්වා පියා වෙතට එල්ල කළේය.
පියසිරි ඇඳේ ඇලවිය. අඩහෝරාවක් යන්නටත් කලින් ඔහුට නින්ද ගියේය. ඔහුට යළි ඇහැ ඇරුණේ සුපුරුදු ලෙස උදෑසන මුළුතැන්ගේ දෙසින් ඇසෙන බිරිඳ උයන පිහන හඬිනි. පියසිරි වීදුරුවට වතුර එකක් ගෙන මුළුතැන්ගෙයි උළුවස්ස අසලට ගියේය.
“මොකද දන්නේ අර පැත්තේ තොරතුරු?”
“වෙන මොන වෙන්නද? එළියේ පහලියේ තිබුණු දේවල් ඔක්කොම උස්සගෙන යන්න ඇති. එක අතකට ජයසිංහලට ඕක කූඹියෙක් කාපු තරමටවත් දැනෙන එකක් නෑ. මොකෝ දුක් මහන්සිවෙලා හම්බු කරපු සල්ලිද? හොරකම් කරපුව නේ.”
විමලා ගෑස් ළිපේ එළිය මඳක් වැඩි කරමින් කීවාය.
ඊළඟ හෝරවේ සියලු දෙනා ගෙදරින් පිට වූහ.
සැඳෑ කළුවර සිරුරේ දවටාගෙන පියසිරි ගෙදර ආවේය. ඇඟපත දොවාගෙන මුළුතැන් ගෙට ගියේ සුපුරුදු ලෙස ඒ වෙලාවට බිරිඳගෙන් ලැබෙන ඉඟුරු මිශ්‍ර උණු තේ එක අපේක්ෂාවෙන්. ජයසිංහගේ නිවසේ විදුලි බුබුළු දැල්වෙනු ඔහු දුටුවේය. ජයසිංහලාට අමතරව තවත් දෙතුන් දෙනෙකුගේ උස් කටහඩ හා සිනාවද ඔහුට ඇසිණ.
“ජයසිංහලා ඇවිල්ලා වගෙයි.” පියසිරි බිරිඳ දෙස බලා ඇසීය.
“ඔය ආවෙ...”
“මොකේ දන්නේ නෑ ඊයේ හොරු ආපු එක? ආරංචියක් නැත්ද?”
”හොරුන්ටත් උන්ගෙ දේවල් පේන්නේ නෑ.”
“ඒ කිව්වෙ? මොනවත් ගෙනහිල්ලා නැද්ද? බල්බ් ටික නම් ඔය යස අපූරුවට පත්තු වෙන්නේ” යි කී පියසිරි ඇඟිලිවලින් ඉස්සී කෙටි තාප්පයට ඉහළින් ජයසිංහ ගේ නිවස දෙස බැලීය.
“ආ අර බයික් එකයි කාර් එකයිත් තියෙන්නේ”
“ඔව්. ඒව නම් තියෙනවා. පිටිපස්ස ගහේ තිබුණු අපේ කෝලිකුට්ටු කැන තමයි නැත්තේ.”
රත්තරං අප්පච්චි
ආචාර්ය සඳුන් විජේසිරි
සිළුමිණ, සත්මඩල
ආදාහනාගාරයේ දුම් කවුළුව තුළින් හිස් අහසට මුසුවන දුම් කැරලි දේවි බාලිකා විදුහලේ පියස්ස කරා ඇදෙමින් තුනීවන අයුරු කඳුළු අතරින් දකින අනෝමාගේ මතක පුස්කොළ පොත සිසාරා කළු මැදෙන්නේ ඇයටත් නොදැනෙන පරිද්දෙනි. සිය මව මිය ගියදා පටන් ඇය වසාගත් දැවැන්ත සෙවණැල්ල දැක්මට වාසනාවක් මින් මතු ඇයට නොවන්නේ ය. පස්වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් ව විදුහලේ සවැනි ශ්‍රේණියට ඇතුළු කළ මුල් දිනයේ අනෝමා තම අප්පච්චි කැටුව විත් පාසල් භූමියට අවතීර්ණ වූ ගේට්ටුව නෙත් ඉසව්වේ රැඳී ඇත. ඇයට ඉකිගසා හඬන්නට සිත් දෙයි. ඒත් අවමංගල්‍යයට සහභාගි වූ හත් අට දෙනා අබියස වුව ද එවැන්නකට රිසිසේ ඉඩදීම තම සමාජ තත්ත්වයට නොගැළපෙන්නක් බව ඇයට සිතෙයි. බුර බුරා නැගෙන දුක් ගින්නෙන් පෙණහලු පුපුරා යනු ඇතැයි ඇයට තවත් විටෙක සිතුණි. වයිතාලෙම අවදිව තිබූ ගවුම් දෙකින් වඩා සුදුවට තිබුණ ගවුම් තොගය හැඳ අලගල්ල හන්දියට පැමිණ බස් රථයක නැග සිය ජන්ම පෙදෙස අතහැර සිදාදිය කරා එළඹි ඒ දීර්ඝ වන්දනා ගමනේ තවත් මංසන්ධියක අනෝමා කුමාරිහාමි දැන් ස්ථානගත ව හිඳින්නීය. හීන්බණ්ඩාගේ, එනම් අනෝමාගේ රත්තරං අප්පච්චිගේ අවසාන මොහොතේ එක ද ඥාතියකුවත් නැත. ගමේ එක ද ඥාතියකුටවත් මරණය පිළිබඳ ව දැනුම් දීමක් ඇයට අවශ්‍ය වූවේ ද නැත. ධර්මාශෝක මහලු මඩමේ අවසාන කාලය ගත කළ හීන්බණ්ඩාගේ මෘතදේහය පෙර දින තිබුණේ කනත්ත අසළ පුද්ගලික මල්කරුවකුගේ පියස්ස යට ය. බුර බුරා නගින සෝ ගින්න හමුවේ සිය පියාට තමාගෙන් ඉටුවිය යුතුව තිබුණ යුතුකම් ඉටුකරන්න අපොහොසත් වුණා නේද යන සිතුවිල්ල දඩබල්ලන් රැළක් සෙයින් ඇයට වද දුණි. දේවි බාලිකා විදුහලින් සරසවියට පිවිසි ඇය කොළඹ දිස්ත්‍රික්කයේ දක්ෂතම ශිෂ්‍යාව ලෙස කිරුළ පැලැන්දා ය. හැමට ම කුලී කුරක්කන් කොට එකතු කර මඩිස්සලේ ගසාගත් හැම දොයිතුවක් ම සිය දියණියගේ මතු දියුණුව වෙනුවෙන් කැප කළ සද්ගුණවත් පියකුගේ, හදවතක් නැත්තියක කරන දෙයක් නේදැයි අනෝමාගේ පපු කැනැත්ත දොස් තැබුවේ ය. තමාගේ ඇට මිඳුළු තුළ කිඳා බැස ඇති අප්‍රතිහත ධෛර්යය උරුම වූයේ සිය අප්පච්චිගෙන් නේදැයි අනෝමාට සිහිගැන්වීමට පරණවිතාරණයන් මළවුන්ගෙන් නැගිටින්නට අවැසි නැත. නිදි වරමින් පහන් කළ රාත්‍රිගොන්න ඇය ව සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම්වරිය දක්වාම කැන්දාගෙන ආවේ ය.
එක් දිනයක අනෝමාගේ පියා තුවා කඩක් කරේ දමාගෙන ඇය ව බැහැදකින්නට පැමිණියේ ය.
“මැඩම් කවුද මනුස්සයෙක් ඇවිල්ල... ගමෙන් අයෙක් වගේ පේන්නේ තුවායකුත් කරේ දමාගෙන” ඒ සිය අප්පච්චි වෙන්නට ඇතැයි අනෝමා කුමාරිහාමි ඉවෙන් මෙන් දැන ගන්නී ය.
“ආ ඇත්ත ද? අපි පොඩිකාලේ හිටපු ගමේ කවුරුහරි වෙන්නැති... මෙන්න මේක දීලා යන්න කියන්න. මම දැන් හුඟාක් බිසි...” වායු සමීකරණය කළ සිය කුටියෙන් ඇය එළියටවත් ආවේ නැත.
හීන්බණ්ඩාට අතපත වෙහෙසව වැඩක යෙදෙන්නට අපහසු වුණ අවස්ථාවේ ඇය කළේ ඔහු ව මහලු මඩමක ගාල් කිරීම ය. කුකුළු මස් කිලෝ හත අටක් එකවර ශීතකරණයට ඇතුළු කරන අනෝමා, සිය පියාහට සුප් කැටයක්වත් මිලට ගැනීමට බැරි තරමින් නිර්ධන වූවා ය. සරසවි සමයේ ඇය දුගී පන්තියේ ඉටු දෙව්දුවක් වැනි ය. අනෝමා කාන්තා විමුක්තිය වෙනුවෙන් ද නිබඳ සටන් කළා ය; ‘උදේනි’ යන ආරූඪ නමකින් වාමාංශික පුවත්පත් සඟරාදියට ලිපි ලියා කම්කරු පන්තියට මාක්ස්වාදයත්, ලෙනින් වාදයත් පතුරුවා හැරියා ය.
දැන් ඇය කම්කරු ජනතාවට විරුද්ධ ව ප්‍රතිපත්ති සැලසුම් කිරීමට බැඳී සිටින්නී ය. හොර සුරා විකිණීමෙන් ධනවතකු වූ සිය ඇමැතිතුමාගේ උපදෙස් පිළිපදින්නීය. කම්කරු සටන් මැඩලීමට සුරා විකිණීමෙන් ධනවතකු වූ සිය ඇමැතිතුමාගේ උපදෙස් පිළිපදින්නීය. අයි.ආර්.සී. කාරයන් යෙදවීමේ උපාය මාර්ග සොයා බලන්නී ය.
මේ කිසිදු විෂයයක් ගැන ඇගේ සැමියා නොදන්නේ ය. ඉතා ධනවත් ලී මෝල් හිමියකුගේ එක ම පුතා ඇගේ සැමියා ය. ඔහු සවන ශ්‍රේණිය දක්වා පමණක් පාසල් ගිය අයෙක් ය. ඔහු දන්නේ ලී ඉරන යන්ත්‍ර සූත්‍ර ගැන පමණ ය. වන ආරක්ෂක නිලධාරින් හා පොලිසියේ උසස් නිලධාරින් ඔහුගේ ගජ මිතුරන් ය. විටෙක අනෝමා ඇයගේ සරසවි මිතුරකු හා සතුටු සාමීචියේ යෙදුණු දුටු ඔහු කීවේ
“මීට පස්සේ ඕකත් එක්ක කථා කරලා අහුවුෙණාත් මම උඹ ව ලී මෝලට දමල දෙකට ඉරනවා. නැත්නම් පොලිසියේ ඇන්ට්‍රියක් දමල දික්කසාද කරනවා...” යනුවෙනි. එදා පටන් ඔහුට පෙනේනනට ඇය කිසි පිරිමියකු හා දොඩමලු නොවූවා ය. දිවා රාත්‍රි වෙහෙසී කාසි සොයන ඔහු සිහිනෙන් පවා බෙරිහන් දෙන්නේ මුදල් ගැන ය.
“හාමුනෝනා... හාමුනෝනා අන්න හාමු මහත්තය කාරෙකේ හෝන් එක ගහනවා..." ඇගේ මෙහෙකාරියගේ ඇමතුමෙන් අනෝමා වට පිට බැලුවා ය. මළගමට පැමිණි අය කිසිවකු ද නැත. අරලිය ගසක් මුල ගොඩ ගසා තිබූ මල්වඩම් පිලිස්සෙමින් නඟන සිහින් දුමාරයක් ඇගේ මුහුණ හරහා හමා ගියේ ය. ඇගේ දෙනෙත් ඉබේටම දුම් කවුළුව දෙසට හැරුණි. ඉන් දැන් දුම් පිට නොවන වග ඇය දැක්කා ය. ඇය තමාට සිප්සතර දුන් විදුහල දෙස නැවත හැරී බැලුවා ය. එදෙස දැල්වූ දෙනෙතින් යුතුව ඇය රථය දෙසට පියමං කළා ය.
ආදාහනාගාරයේ උන් කම්කරුවෙක් ඇය පසු පස ගමන් කළේ ය. අනෝමා කුමාරිහාමි මෝටර් රථයට නැගුණ විට, හෙතෙම “නෝන මහත්තයා” කියමින් බැගෑපත් විය.
“මොනවද? අපි ඔක්කොට ම සල්ලි ගෙවල තියෙන්නේ...” ඇගේ සැමියා මෝටර් රථය පණ ගැන්වීය.
මං එක මිනිහෙකුට විතරයි පණ වගේ ආදරේ කළේ. මං ඒ මිනිහව බැන්දෙ මගෙ අම්ම - අප්පටත් විරුද්ධව. මගෙ යුතුකම - වගකීම ඒ මිනිහගෙ දරුවො බලා - හදා ගන්න එක. මං ඒක අකුරටම කළා. ඔයාගෙ පර්යේෂණත් එක්ක ඔයා මකබෑවුණා. දැන්වත් කියන්ඩ - අවුරුදු විසිහතක් තිස්සෙ ඔයා කොහෙද හිටියෙ? මොනවද කළේ?
දොර ළඟ සීනුව නාද වුණා. මම කියවමින් හිටිය පොත ඇඳ උඩින් තියල, එක පාරටම නැගිට්ට. වෙලාව රෑ එකොළහමාරයි. මේ වෙලාවෙ කවුද? මං ඉස්සරහ දොරේ යතුරත් අරන් සාලෙට ගියා.
මං සාලෙ ලයිට් එකයි, දොර ළඟ ලයිට් එකයි දැම්ම.
“අම්මා...”
ලොකු පුතාගෙ කටහඬ. දොරේ කාචයට ඇහැ තියල බැලුවට කවුරුත් පේන්ඩ නෑ. මං ගෙදර තනියම හින්දයි, ගොඩක් රෑ වෙලා හින්දයි, කෝකටත් පරිස්සමට ඉස්සරහ කාමරේ ජනෙල් තිර පට අයින්කරල, ජනෙල් වීදුරුවන් පිටත බැලුව. අත් දිග කමිසයක්, කළු කලිසමක් ඇඳපු ලොකු පුතා තොප්පියක් අතේ තියාගෙන පාර දිහා බලාගෙන ඉන්නව. ඔළුව පිටිපස්සෙ ‘කැලෑ හඳ’ බේරිලා තිබුණු හැටියෙන් මට එයාව අඳුනගන්න පුළුවන්. පුතා තලවකැලේ ගිය හින්ද, ලොකු ලේලියි, දරුවො දෙන්නයි මහ ගෙදර ගිහින් විත්තිය මං දැනං හිටිය. ගෙදර අය නැති හින්ද එයා මෙහෙ එන්ඩ ඇති කියල හිතාගෙන මං ගිහින් දොර ඇරිය. ලොකු පුතාට ගෙට ඇතුල්වෙන්ඩ ඉඩ දීල, මං දොරේ පිටිපස්සට වුණා. එයා තොප්පිය ටීපෝව උඩ තියල ඇඳි පුටුවක වාඩි වුණා. මං ආපහු හැරිල දොරට යතුර දැම්ම.
“අපි රුපියල් හාරසිය පනහට ගත්තු බුරුත පුටු සෙට් එක තාම හොඳට තියෙනව නේද?”
පරණ පුරුදු කටහඬ! හත් දෙයියනේ! මේ නිලාන්ද? මොහොතකින් හිත කීප සැරයක් විදුලි කෙටුව - එතකොටම යටි ගිරිය හඬ තැලුව.
එයා ඉක්මනට නැගිටල ඇවිත්, අතින් මගෙ කට තද කරල වැහුව. අවතාර - හොල්මන් ගැන මගේ විශ්වාසය නැති වුණත්, අත අයින් කරමින් මං කෑ ගැහුව.
“එපා! නිලා... න්! ඔයා මැරිල අවුරුදු විසිපහකටත් වැඩියි...! අහකට වෙන්ඩ..! මං හිතුවෙ ලොකු පුතා කියල.. ආ..හ්!”
මගෙ අත් දෙකෙන්ම නිලාන්ව පස්සට තල්ලු කෙරුණේ ඉබේටම.
“බය වෙන්ඩ එපා ළමයෝ! කැ ගහන්ඩ එපා! කාටවත් ඇහෙයි! මෙහෙ ආවට බය වෙන්ඩ ඕනැ මම?”
ඇඟ සීතල වෙලා - වෙව්ලල ගිය මා ඉබේටම වගේ ලොකු සැටියෙ ඉඳ ගැස්සුණා.
“මර්සි, මං මැරුණෙ නෑ. එදා මං හැටන් වලදි ඒ වෑන් එකෙන් බැහැල, බගවන්තලාව බස් එකට නැග්ග. වෑන් එක පෙරළිලා ගිනි ගන්නකොට, අබේල - විජේල එක්ක මං වෑන් එකේ හිටියෙ නෑ. මාත් විස්තර දැන ගත්තෙ රේඩියෝවෙන්. පහුවදා පත්තරේ වෑන් එකේ හිටපු අයගේ - අට දෙනෙකුගේ නම් දාලා තිබුණත්, හැටන්වලදි ඒ අය අඳුනන කාව හරි එක්ක යන්න ඇති.”
මං කට ඇරගෙන - දාඩිය දාගෙන, හති දානව - වෙව්ලනව.
“මට සමාවෙන්ඩ මර්සි, අල්ලල බලන්ඩ, මේ මං පණ පිටින් ඉන්නව. මං ඔයාට ගොඩා...ක් දුක් දුන්න. ගොඩා... ක් කරදර කළා. මගෙන් අපේ දරුවන්ට ලොකු අසාධාරණයක් වුණා. හැම දේටම හේතු වුණේ මගෙ පිස්සු ‘ටාගට්’ එක. මට දහස් වාරයක් සමාව දීල, මං කියන දේ අහගෙන ඉන්ඩ.. මර්සි, ප්ලී... ස්”
මං සුදුමැලි වෙලා - බය බීත වෙලා - ඇස් ගෙඩි ඉලිප්පිලා - හුස්ම හිරවෙලා එයා දිහා බලං හිටිය. දිව - තොල - කට වේළිච්ච මගෙන් එක වචනයක්වත් පිටවුණේ නෑ. එයා කියවන්න පටන් ගත්ත.
“ඔයා ගෙදර තනියම ඉන්නව කියල දැනගත්තු හින්ද, මං රෑ කෝච්චියෙ නුවර ඇවිත්, ත්රීවීලරයකට නැගල ප්රියංකර හෝටලේ ළඟ බැස්ස. මේ පැත්ත දැන් හුඟක් වෙනස් වෙලා. උඩ පැත්තට පාරක් කපල හින්ද මට ගේ හොයා ගන්ඩත් අමාරු වුණා. කොකෝ ගහ දැක්කම තමයි අපේ ගෙදර කියල ෂුවර් කර ගත්තෙ. ඔයාගෙ දහිරිය ගැන මට හරි ආඩම්බරයි. ඇත්තමයි, මර්සි, ඔයා මට සමාව දෙනව නේද?”
මේ නිලාන්ම තමයි - මගෙ හිත කිව්ව. වේළුණු කට - තොලට තෙතමනයක් දැනුණ - කෙළ ගිලුණ - තලු මැරුණ. අවුරුදු විසි හතකට පස්සෙ එයාගෙ කටහඬ ඇහුණම - කතා විලාසය දැක්කම ටිකෙන් ටික මාව පියවි ගතියට පත්වුණා - සිහි කල්පනාව ආව.
නිලාන් ඉස්කෝලෙ හිත-මිතුරු ගුරුවරු කීප දෙනෙක් එක්ක ලක්ෂපාන, නෝටන් බ්රිජ්, කාසල් රී පැත්තෙ චාරිකාවක් ගියෙ මීට අවුරුදු විසිහතකට ඉස්සර. කොහොම හරි හැටන් පහුවුණාට පස්සෙ, වෑන්එක මහ ගහක හැප්පිලා - පාරෙන් පිටතට විසිවෙලා - ප්රපාතෙකට පෙරළිලා, දොරවල් ලොක් වෙලා, වාහනේට ගිනි ඇවිළිලා, ඇතුලේ හිටපු පිරිමි අට දෙනාම කළු අඟුරු වෙනකල් පිච්චිලා මැරිල හිටිය. ගැලවිලා විසිවුණු අංක තහඩුවෙන් තමයි වෑන් එකේ ගිය අට දෙනාව එයාලගෙ ‘ස්ටාෆ්’ එකේ අය නම් කරල තිබුණෙ. මං කොහොම විශ්වාස කරන්නද?
“ඔයා එදා වෑන් එක ඇතුළෙ පිච්චිලා මැරුණෙ නැත්තං... මෙච්චර කල් ඔයා කොහෙද හිටියෙ? ඇයි අද ආවෙ? මොකද දැන් අපිව මතක් වුණේ? ඔයා මහ පුදුම මිනිහෙක්! ඔයා තාත්තෙක්ද නිලාන්?”
මං තරහින් ප්රශ්න වැලක් ඇහුව. කතා නැතුව හිටපු තැනින් නැගිට්ට නිලාන් සාලෙ ඈතට ගියා. වීදුරු අල්මාරිය උඩ, පේළියට තියාපු, දරු හයදෙනාගෙම උපාධි පින්තූර එක-එක ළඟ නැවතිලා, හොඳට බලාගෙන හිටිය. කලිසම් සාක්කුවෙන් සුදු ලේන්සුවක් අරන් ඇස් පිහදානව මං දැක්ක. ඒත් මං නැගිට්ටෙ නෑ. මගෙ හිතට තරහකුත්, දුකකුත් පිරෙන්ඩ අරන් ඒ දෙකම හිත ඇතුළෙ වලි කෑව.
නිලාන් අඬනව මං කවදාවත් දැකල නෑ. එයා කඳුළු පිහදාගෙන, කීප සැරයක් හොටු සූරාගෙන ඇවිත්, මං ඉස්සරහ වාඩි වුණා.
“අන්තිමට ඉන්නෙ මාත් නොදැක්ක, මාවත් නොදැක්ක පුතාද මර්සි?”
මං උත්තර දුන්නෙ නෑ. නිලාන් වකුටු කරගත්තු අත්තල දෙකේ මූණ ඔබා ගෙන, ඔළුව බිමට නවාගෙන විනාඩියක් විතර කතා නැතුව හිටිය. ඔළුවෙ ඉස්සරහ, පිටිපස්සෙ රැලි කොණ්ඩෙ තවම තියෙනව. මැද හරියෙ අල්ලක් විතර තට්ටෙ පෑදිලා. එයා දිග හුස්මක් අරන්, ඔළුව එහා-මෙහා ගස්සල, ආයෙ පුටුවට හේත්තු වෙලා, ආයෙත් කියවන්න පටන් ගත්ත.
“මර්සි, ඔයාට මතකද ඉස්සර මගෙ ගමන් බිමන්? මං නැතිවෙන්ඩ අවුරුදු පහකට විතර කලින් ඉඳලා, ‘වීක් එන්ඩ්ස්’ වල, නිවාඩු දවස්වල මං ඔයාට එක-එක බොරු කියල නුවර එළියෙ, බගවන්තලාවෙ රහස් ගමන් ගියා. මං වැරදියි තමයි. ඒත්... ඒත්... මට විශේෂ අරමුණක් තිබුණ; හැබෑ කරගන්න හීනයක් තිබුණ. ඒකත් එක විධියක පිස්සු හැඟීමක් වෙන්න ඇති.”
“ඔයා කැමති අරමුණුවලට යන්ඩ ඕනැකම තිබුණ නම් ඇයි කසාද බැන්දෙ? දරුවන්වයි, මාවයි අතරමං කළේ ඇයි?”
“පොඩි දුව ලැබුණට පස්සෙ මං රෑ වෙලා ගෙදර එනකොට ඔයා මට දොස් කිව්ව. ඒ කාලෙ ඉස්කෝලෙ ඇරිල, හැන්දෑවට මගෙ ‘ෆිසික්ස් ලැබ්’ එකේ පුංචි කාමරේකට කාටත් හොරෙන් මං පර්යේෂණ වගයක් පටන් ගත්ත. මට ඕනැවුණා, කෙනෙක් අවුරුදු හතළිහක් තරම් පරිණත වුණාට පස්සෙ, වයස් ගතවෙන එක නවත්වන රසායනයක් - ජීව පදාර්ථයක් හොයන්න. මං භෞතික විද්යාව හොඳටම දැනං හිටියට, ජීව විද්යාවෙ - රසායන විද්යාවෙ ගැඹුරට හොයන්න මට කල් ඕන වුණා. මං රෑ වෙලා ඔළුව තෝන්තුවෙන් ගෙදර ආවම, මං බීල කියල හිතාගෙන ඔයා බණින හින්ද මට විසඳුම් ඕන වුණා. මං දිගටම ගෙදර නෑවිත් ලැබ් එකේම නිදා ගත්තු කාලෙකුත් තිබුණ මතකද? ඒ කාලෙ මිනිස්සු අපි ගැන කටකතා පැතුරුව.”
“මේ නිලාන්, පිං සිද්ද වෙයි! අතීතෙ ගැන මට කියන්ඩ එපා! මං විඳවල තියෙන තරම් හොඳටම ඇති. මෙච්චර කාලෙකට පස්සෙ ඔයා මෙහෙම ආවෙ ඇයි කියන්ඩකො - ඉතින්?”
මං ඉවසිලි නැතුව ඇහුව. නිලාන් බිම බලාගෙන, දෑතේ ඇඟලි පටලවමින් - දිග අරිමින් - මිට මොලවමින් හිටිය.
“මං මැරුණයි කියල හිතාගෙන, ඔයා ආයෙමත් කසාද බඳීවිද කියල මට බයකුත් තිබුණ.”
මගෙ ඇඟේ ලේ රත්වුණා. පුපුරන්ඩ තරම් තරහක් ආව. මේ මිනිහ තාමවත් මාව තේරුම් අරන් නැති හැටි?
“මං ගණිකාවක් නෙවෙයි! මං එක මිනිහෙකුට විතරයි පණ වගේ ආදරේ කළේ. මං ඒ මිනිහව බැන්දෙ මගෙ අම්ම - අප්පටත් විරුද්ධව. මගෙ යුතුකම - වගකීම ඒ මිනිහගෙ දරුවො බලා - හදා ගන්න එක. මං ඒක අකුරටම කළා. ඔයාගෙ පර්යේෂණත් එක්ක ඔයා මකබෑවුණා. දැන්වත් කියන්ඩ - අවුරුදු විසිහතක් තිස්සෙ ඔයා කොහෙද හිටියෙ? මොනවද කළේ? ඔයා කොහොමද ලෝකෙට හොරෙන් ජීවත් වුණේ?”
මට ඇඬුණා. නිලාන් බැගෑපත් වුණා. නැගිටල ඇවිත් සැටියෙ වාඩිවෙලා මගෙ අතක් අල්ල ගත්ත. මං එයාගෙ අත පැත්තකින් තියල, ටිකක් ඈත් වුණා. එයා මගෙ පැත්තට හැරිල බාගෙට වාඩි වුණා.
“ඇති... ඇති... මර්සි, හයියෙන් කතා කරන්ඩ එපා! මං නුවරඑළියෙ උගන්නපු කාලෙ මගෙ ආදරණීය ගෝලයා - රාසරත්නම්ව ඔයා දන්නව නේද? මං එදා යද්දි මගෙ පර්යේෂණ බඩු වගේකුයි, ඇඳුමුයි දාපු බෑග් එක අරන් එයාලගෙ ගෙදර ගියෙ දවස් දෙකකින් එන්ඩ හිතාගෙන. මාත් වෑන් එකේ පිච්චිලා මැරුණ කියල දැන ගත්තම, ප්ලෑන් එක මං වෙනස් කළා. රාසටවත් ඇත්ත කිව්වෙ නෑ. දෙමළ මිනිස්සු සිංහල පත්තර බලන්නෙ නැති හින්ද මගෙ මරණෙ එයාලට ආරංචි වෙන්ඩ විදිහක් නෑ. මගෙ ‘රිසර්ච්’ එක පටන් ගත්තු කාලෙ ඉඳලම මං රාසත් එක්ක වැඩ කරපු හින්ද එහෙ කාටවත් ප්රශ්නයක් වුණේ නෑ. අර කාසල්රී ජලාශෙ මැද්දෙ තියෙන, තේ වවාපු කඳු ගැටේ පුංචි දූපතේ දලු කඩන්න බාර දීල තිබුණෙ රාසගෙ තාත්තට. රාසයිය ඒකෙ හදා ගත්තු පුංචි ලෑලි කුටියක් තිබුණ. මං රාසත් එක්ක එකතුවෙලා ඒක ටිකක් ලොකු කරල, බූරු ඇඳකුයි, මේසෙකුයි, පුටුවකුයි දාගෙන කඳු ගැටේ තිබුණු ලයිට් කණුවෙන් මගෙ වැඩවලට අවශ්ය විදුලිය ලබා ගත්ත. රාසගෙ මව්-පියෝ වයස්ගතව හිටිය හින්ද, දූපතේ දලු කඩන වැඩේ වත්තෙ මහත්තයගෙ අවසරය ඇතුව රාසා පවර ගත්ත. රාසා දලු කූඩත් අරන්, මට ඕන කරන දේවලුත් අරන් ඔරුවෙන් එහා - මෙහා ගියා. මගෙ වැඩවලට සම්බන්ධ වුණු රාසා කසාද බැන්දෙත් නෑ.”
“ඔයා හරිම කපටියෙක්! නැත්නම් මහ ආත්මාර්ථකාමියෙක්! මාව - දරුවන්ව අනාථ කළා මදිවට රාසයියවත් අනාථ කළා. දැන් ඔයාගෙ කෙහෙල්මල් පර්යේෂණේ සාර්ථක වෙලාද මට ඔයාව ලොකු පුතා වගේ පේන්ඩ සැලැස්සුවෙ? මට නං දැන් හැත්තෑවක්. ඔයාට තාම හතළිස් පහද?”
උපහාසයෙන් වගේ මට හිනා ගියා.
“ඇති යන්තම් හිනාවුණා” කියමින් නිලාන් මගෙ කරවටේ අතක් දැම්මත්, මං උරහිස් අකුලලා අත් පන්නලා සැටියෙ කෙළවරටම ඇදුණා.
“කිරි-කවඩි සිනා නොදැක බැඳුණු ආදරේ...
ඔබෙ අහංකාර බැල්මට බැඳි ආදරේ...”
“ඔයාගෙ පරණ සිංදුවලට මං දැන් රැවටෙන්නෙ නෑ හලෝ. ඒ කපුටි මැරිල හුඟක් කල්.”
“අනේ... අනේ... මර්සි! ඉතින් අහගන්ඩකො. මගෙ පර්යේෂණවලට රාසා උදවු කළා. රසායනික මූලද්රව්ය ගෙනැවිත් දුන්න, සත්තු හොයල දුන්න, මාත් එක්කම සමහර සංයෝග ටික-ටික බීල බැලුව. මට එහෙදි ඉලෙක්ට්රොනික් රෙපෙයාර් වැඩ කරල සල්ලි හොයා ගන්න රාස උදවු කෙරුව. මගේ වැඩවලින් සාර්ථක ප්රතිඵල ලැබුණම, ඒකෙන් දහයෙන් පංගුවක් රාසට දෙන්ඩ මං පොරොන්දු වුණා. දැන් මගෙ ‘රිසර්ච්’ එකේ ප්රතිඵල අරන් මම ඇමෙරිකාවට හරි එංගලන්තෙට හරි යන්ඩ ප්ලෑන් කරල තියෙන්නෙ. රාසත් මාත් එක්ක යනව. රටවල් දෙකෙන්ම මට ‘රිප්ලයි’ කරල තියෙන විධියට බර ගාණක් ලැබෙයි. ලබන සතියෙ විතර දෙගොල්ලොම එක්ක ‘ස්කයිප් ඉන්ටවිව්’ තියෙනව.”
“ආ! ඔයා ලෑලි කාමරේ ඉඳන් ලෝකෙත් එක්කම ගනු-දෙනු කරනව වගේ? ඉන්ඩකෝ, මං අපි දෙන්නටම කෝපි හදාගෙන එනකල් ළමයින්ගෙ ‘වෙඩින් ඇල්බම්’ දෙන්නම් - බලන්න.”
මං කුස්සියට ගියා. කතා-බහ කළාට මොකද තාම මගෙ පපුව වේගයෙන් ගැහෙනව. දුක - තරහව - අවිශ්වාසය - කුතුහලය වාගෙ සංවේදන එකට හැපී - හැපී හිත ඇතුළෙ පොර බදනව. රෑට ‘ප්රෙෂර්’ පෙත්තක් බීල හිටියත් මට බයක් දැනුණ. ඒ හින්ද මගෙ කෝප්පෙට කෝපි ටිකක් දාගෙන, නිලාන්ට කෝපි ‘මග්’ එකක්ම අරන් ගියා. එයා ඇල්බම් බලන්නෙ නැතුව, මොනවද පෝර්ම වගයක් බලමින් හිටිය. ඔහු කෝපි තොල ගාන ගමන් කතා කළා.
“මර්සි, ඔයා දැන් දරුවො ගැන හිතල කරදර වෙන්ඩ එපා. එයාලට ශක්තිමත් - හොඳ අනාගතයක් තියෙනවා. ඒත් ඔයා? ඔයාව මෙහෙම තනි කරල දාල මට රට යන්ඩ බෑ. මට ආයෙමත් ඔයාව බඳින්ඩ ඕනැ.”
“මේ මනුස්සයගෙ ඔළුව හොඳටම නරක් වෙලා. මරණ සහතිකේකුත් තියෙන මිනිහෙකුව කසාද බඳින්නෙ කොහොමද? අනික අවුරුදු විසි හතක් තිස්සෙ මට ලැබුණු ‘විඩෝස් පෙන්ෂන්” සල්ලි බර ගාණක් ආපහු ගෙවන්න? මට නම් බෑ බොරු කරන්න. මේව බරපතළ චෝදනා! පිස්සු නැතුව මගෙ නාකි කාලෙ මට සැනසිල්ලෙ ඉන්ඩ දෙන්ඩ නිලාන්.”
“නෑ - නෑ - එහෙම නෙවෙයි මං යෝජනා කරන්නෙ. මේ මගෙ අලුත් හැඳුනුම්පත. මං දැන් විශ්ව රාජගුරු. වෙන කෙනෙක්ව බැන්දම විඩෝස් පෙන්ෂන් එක නිකම්ම ‘කැන්සල්’ වෙනව - එච්චරයි. මං ආවෙ මේක ඔයාට තේරුම් කරල දීල, මේ ‘ෆෝර්ම්ස්’ ටික ඔයාට දීල යන්න.”
මං කෝපයෙන් ගිනි අරන්. ලැජ්ජාවෙන් - පිළිකුලෙන් ගැහෙන්ඩ පටන් අරන්.
“මටවත් - දරුවන්ටවත් ඔයාගෙ සල්ලිත් එපා! ඔයත් එපා! බොරු අනුකම්පාව ඔයාම තියාගෙන, රටෙන් ඉක්මනට පිටවෙන්ඩ. මගෙත් - ඔයාගෙත් ගෞරවය රැකගෙන, අපේ දරුවන්ගෙත් නම්බුව රැකගෙන අපට ඉන්ඩ දීල ඔයා ඕනැ දිහාවක යන්ඩ. නිලා...න්, මට බෑ.. මට බෑ... බෑමයි.”
“අනේ මර්සි, ප්ලීස් මට රිදවන්ඩ එපා!”
“ඔයා මෙච්චර කල් අපිට රිදෙව්ව. ඒකට ඔයාට දුක නැද්ද? මාව වෙනස් කරන්ඩ දැන් ඔයාට බෑ. එහෙම ඉල්ලන්ඩ තරම් ඔයාට අයිතියකුත් නෑ.”
මං වේගයෙන් මගේ තීරණේ කියල දැම්ම. එයා අමුතු විධියකට බලං හිටියත් මං සසල වුණේ නෑ.
එයා නැගිටල, මගෙ අත් දෙකෙන්ම අල්ලල, මාවත් නැගිට්ටෙව්ව
“ඔයා ආයෙ මෙහෙ එන්ඩ එපා!”
මං තදින්ම කිව්ව. ලොකු වාහනයක් නවත්වපු සද්දෙ ඇහුණ. මං පාර පැත්තෙ ජනෙල් තිරපටයක් එහාට කරල බැලුව. මහ පාරෙන් එහා පැත්තෙ මාළු මුදලාලිගෙ ලොරිය ඇවිත්. ක්ලීනර් බැහැල, කොල්ලට අඬ ගහනව - ගේට්ටුව අරින්ඩ. මට අදහසක් ආව. මැද ජනෙල් පියන්පත ඇරියා. සාලෙ දොරත් ඇරල යතුර අතට ගත්ත. නිලාන් එයාගෙ ඔළුව ඇඟිලිවලින් පිරිමදිමින් හිටිය.
“නිලාන්! නෑ... නෑ..., මිස්ට විශ්ව රාජගුරු, ඇයි බය වෙලා? ඒක ඔයාගෙ බොරු නම - අලුත් නම! කරුණා.. කරල ආපහු යන්න. නැත්නම් මං කෑ ගහනවා - පාරෙ තුන් දෙනෙක් ඉන්නව. ඒ ගොල්ලො මාව දන්නව.”
“අපෝයි! මර්සි... ෂ්... ෂ්... ෂ්...”
මං හදිසි නිවේදනයක් නිකුත් කළා.
“කතා එපා...! ඉක්මනට එළියට යන්න! නැත්තං ඔන්න මං කෑ ගහනව!” මං ජනෙල් හරස් පටි දෑතින්ම අල්ල ගත්ත.
නිලාන් එළියට ගියා. මං එයාගෙ තොප්පිය එළියට විසි කරපු සැණින් දොර වහල අගුලු දැම්ම. මං ආයෙ ජනේලෙ ළඟට ගියා. පාරෙන් එහා පැත්තෙ විදුලි එළියෙ උදව්වෙන් එයා හෙමිහිට පඩි පෙළ බහිනව. එයා පුංචි ගේට්ටුව වැහුව; පාරට බැස්ස. නිලාන් නොපෙනී යනකං මං හුස්ම අල්ලගෙන බලං හිටිය.
මං ජනෙල් පියන වහල - තිරපට ඇදල - ආයෙමත් සැටිය උඩට කඩා වැටුණ. දණහිස් උඩ තියා ගත්තු දෑත්වල මූණ ඔබාගෙන, මං කොච්චර වෙලා ඇඬුවද කියල මට මතක නෑ.
අද පෙරවරුවේ තමා සහභාගි වූ වයර්ලස් ගුණදාසගේ මරණයෙන් පසු අවුරුද්දේ දානය තමා මෙතරම් කැළඹීමට පත් කිරීමට සමත් ප්‍රස්‌තුතයක් වේ යයි උන්වහන්සේ නිකමට වත් සිතුවේ නැත.
තැන්පත් ගතිගුණ සහිත අහිංසකයෙක් වුවද වුවමනා දේටත් නුවමනා දේටත් දිගින් දිගටම අදහස් ප්‍රකාශ කිරීම ගුණදාසගේ චර්යාව විය. මෙම නිරන්තර කචබචය නිසාම හේ ගම තුළ හඳුන්වන ලද්දේ වයර්ලස් ගුණදාස ලෙසිනි.
පසුගිය දිනක තම කුඩා පුතු සමඟ පන්සල වෙත පැමිණි වයර්ලස් ගුණදාස ගේ භාර්යාව කමලාවතී තම ස්‌වාමියාගේ මරණයෙන් අවුරුද්දක් ගතවන දින දානයක් පිරිනැමීමට අදහස් කරන බවත්, ඊට ස්‌වාමීන් වහන්සේලා පස් නමක් සපයාදෙන ලෙස තමාට කළ ආරාධනය උපක හිමිගේ සිහියට නැඟුණි. එම දානය පන්සලට රැගෙන ඒමට තමා අදහස් කරන බවද ඇය ප්‍රකාශ කළාය.
"ඇයි උපාසකම්මා එහෙම අදහස් කළේ ගෙදර නොවැ සුදුසු?"
"හාමුදුරුවනේ අසල්වැසියොත් එනවා නේ දානයට, මේ වැස්‌ස හින්දානේ බැරි - ඉඩකඩ නැහැ ගෙදර දානයක් දෙන්න තරම් - වැස්‌ස නැත්නම් එළියේ පහළියේ හරි සිටිය හැකි"
"ගේ ඩිංගක් හදාගන්න උන්දෑ ඉන්න කාලේ මොන තරම් පෙරුම් පිරුවාද - බවුන්ඩේසම විතරයි දැම්මේ - ඔක්‌කොම වතුරෙ ගියා නොවැ අපෙ හාමුදුරුවනේ..."
ඇසට නැඟුණ කඳුළු ඔසරි පොටෙන් පිසදාගත් ඇගේ අකලට ඉදුණු හිසකෙස් සහ ඇටසැකිල්ලක් වන්වූ කෘශ සිරුර දරිද්‍රතාවයේ ආදීනව මොනවට ප්‍රදර්ශනය කරන බව උන්වහන්සේට හැඟුණි.
"අපිත් මොකක්‌දෝ කරුමයක් කරල අපෙ හාමුදුරුවනේ, ඒක කළ උන්ට අප වෛර නොකළත් සොබාව දරුමෙන් නම් ගැලවෙන්න බැරිවෙයි"
ඇගේ අවසන් වදන් සමඟම උපක හාමුදුරුවෝ තුළ එකපාරටම විදුලියක් කෙටුවා වගේ දැනුණි.
කුඩා කෘශ දරුවාගේ අතින් අල්ලාගෙන ඈත යන කමලාවතී දෙස අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බලා සිටි පොඩි හාමුදුරුවන්ගේ සිත ශූන්‍ය වූ බවක් හැඟුණි. ඒ සිත වසරකට පමණ අතීත සිද්ධීන්ගෙන් ටිකෙන් ටික පිරෙන්න ගත්තේය. අතීතාවර්ජනය තුළින් උන්වහන්සේගේ සිත සම්පූර්ණයෙන් වසාගත් පසු දිග සුසුමක් ඉබේටම හෙළුණි. දෑස් තරයේ පියාගත් උන්වහන්සේ "ජයසුන්දර" නම්වූ තම අතීත රූපකායට ක්‍රමයෙන් අවතීර්ණ වුණි.
ගමේ පරම්පරාගත පවුලකින් පැවත ආ ජයසුන්දරගේ පියා ගමේ පාසලේ විදුහල්පති වූ පසු මහගෙදර සිට ගුරු නිවාසයට ආවේ විශේෂයෙන්ම විදුහල් වත්තේ ආදායමට ලොබින් බව ගමේ කවුරුත් දැන සිටියත් එය මහ මෙරක් සේ කවුරුත් සැලකුවේ නැත.
දරුවන් සිව් දෙනකුගේ පවුලේ තෙවැන්නා වූ ජයසුන්දරගේ ළමා කාලය වැඩිපුර ගෙවුණේ පියාගේ පාසල ආශ්‍රිතවය. එම විදුහලේ ගුරුවරියක වන අම්මා පිළිමතලාව පැත්තේ පැරැණි වලව් පෙළපතකින් පැවත ආ හෙයින් ගමේ අය අතර ඇයට විශේෂ සැලකිල්ලක් හිමිව තිබූ බව පොඩි හාමුදුරුවන්ට මතක් වුණි.
මවු පිය දෙපළම ගුරු වෘත්තීය ඉක්‌ම වූ සේවයක් සැබැවින්ම ගමට කළ හෙයින් කවුරුත් ගුරු ගෙදර පිළිබඳ බැලුවේ ගෞරවය මුසු දෘෂ්ටි කෝණයකිනි.
පියාගේ සහ මවගේ නීතිරීති අතර ගෙවුණ ජයසුන්දරගේ නිහඬ ළමා කාලය ගෙවී පූර්ණ පරිවර්තනයකට භාජනය වූයේ විශ්වවිද්‍යාලයට තේරීමත් සමඟය. එවකට රට වසාගෙන සිටි විප්ලවකාරී සංවිධානයක ක්‍රියාකාරිත්වයේ තෝතැන්න වූයේ මෙම විශ්වවිද්‍යාලයයි. වැඩිකල් නොගොස් එම සංවිධානයේ විශේෂ තනතුරකට පත්වූ ජයසුන්දර සරසවි දිවියේ අවසන් වසර තුළ එම සංවිධානයේ පළාත් මෙහෙයුම් කරු බවට පත්වූයේ තමාගේ අධ්‍යාපනයට ලබාදුන් ස්‌ථානය දෙවැනි තැනට පත් කරමිනි.
එහි ප්‍රතිඵලයක් ලෙස අවසන් විභාගය අසමත් වෙමින් තම සරසවි ජීවිතය පස් වසරක් දක්‌වා දීර්ඝ වුවත් ජයසුන්දර පශ්චාත් තාපයට පත් නොවූයේ ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු කිරීමට පහසුම ක්‍රමය සරසවිය තුළ රැඳී සිටීම බව අවබෝධ කරගත් හෙයිනි. දෙමාපියන්ගෙන් ලැබුණ මුදල් ද සරසවි ශිෂ්‍ය දීමනාවන්ද තමා වැය කළේ හුදෙක් සංවිධානයේ කටයුතුවලටම බව උපක හිමියන්ගේ සිහියට නැඟුණි.
උපක හිමිගේ දැහැන් ගතවීම හදිසියේ බිඳ වැටුණේ සංකිච්ච පොඩි සාදුගේ කෑගැසීමත් සමඟය.
"හාමුදුරුවනේ අර කමලාවතී නැන්දා පන්සල් වත්තේ පොල් ගෙඩියක් අහුලාගෙන යනවා - මං ඇහැටම දැක්‌කා"
"කමක් නෑ සංකිච්ච. අරන් ගියදෙන්" උපක හිමිගේ පිළිතුර සංකිච්ච හිමිට ගෝචර වුණේ නැහැ.
"හාමුදුරුවෝ නං කියයි. ලොකු හාමුදුරුවෝ හිටපු කාලයේ නං ගෙඩියක් තියා පොල් ලෙල්ලක්‌වත් පන්සල් වත්තෙන් අරන් යනවා බොරු"
මුමුණ මුමුණ යන සංකිච්ච හිමි දෙස බලා සිටි උපක හිමිගේ මුවඟට නැඟුන සිහින් සිනාව යළි අතුරුදන් විය.
වසර පහක් සරසවියේ ගතකර කෙසේ හෝ උපාධිය සමත් වූ ජයසුන්දර ආපසු ගමට විත් තම කාලය වැය කළේ විප්ලවකාරි සංවිධානයේ කටයුතුවලටමය. නිතිපතා පාහේ නිවසින් පිටට යන ඔහුගේ ක්‍රියා කලාපය පිළිබඳව ගම්මු විශේෂ සැලකිල්ලක් නොකළේය. විදුහල්පතිතුමාද එම පවුල පිළිබඳව ඔවුන් තුළ කිසිම විචිකිච්ඡාවක් ජනිත වී නොතිබීම ඊට හේතුව විය.
රහස් සංවිධානයේ දසත විහිදුන දෑත් ගම වෙලා ගැනීමට වැඩිකල් ගතවුණේ නැත. විශේෂයෙන් රාත්‍රී කාලයේ තැන් තැන්වල රංචු ගැසුණ තරුණ කැළ පිළිබඳව වැඩිහිටියන්ගේ සිත්හි අවිනිශ්චිත ත්‍රාසයක් රෝපණය වුවද ඔවුන්ගේ මුවින් එය වචනවලට පරිවර්තනය නොවීය.
සංවිධානයේ එළිපිට රංගනය ලෙස දිස්‌වූයේ ඉන්දීය හමුදාවට එරෙහිව ගම තුළ සංවිධානය වූ පෙළපාලියයි. රාජ්‍ය ඇඳිරි නීතිය පැනවූ දිනක ගම්මුන්ට අණදී ඊට බලහත්කාරයෙන් සහභාගි කරවීම පෙරදින රාත්‍රියේ මුහුණ වසාගෙන නිවෙස්‌වලට ආ සන්නද්ධ සංවිධානයේ සාමාජිකයන්ගේ වගකීම විය.
විශේෂයක් වූයේ මේ සිද්ධි අරඹයා ජයසුන්දරගේ සහභාගිත්වයක් ඇතැයි ගම්මුන් හාංකවිසියක් නොදැන සිටීමය.
පෙළපාලියට ප්‍රතිචාර ලෙස ඔවුනට රජයේ හමුදාවන්ගෙන් ලැබුණ අනපේක්‍ෂිත ප්‍රහාරයන් සමඟ මහා ව්‍යසනයක පෙර නිමිති සියලු සිත් තුළට ඇතුළත් විය.
පෙළපාලිය ඉදිරියෙන්ම ගිය වාහනයක් තුළ මුහුණ ආවරණය කර ගනිමින් ශබ්ද විකාශනයක් මගින් එය මෙහෙයවූ එක් නායකයෙක් වූයේ ජයසුන්දර බව දැන සිටියේ සංවිධානයේ ඉහළ නායකත්වයේ කීප දෙනෙක් පමණි.
තමා එවකට කිසිවකුගේ සැකයට භාජනය නොවූ බව උපක හිමියන්ට කල්පනා වුණි.
මේ සියලු සිද්ධීන් අවසන තමා පෙළපාලියට බලෙන්ම තල්ලු කළ හේතුවෙන් තම හරකා මුළු දවසම නිරාහාරයෙන් තැබීමට සිදුවූ වග කියමින් දින ගණනාවක් එම සංවිධානයට අසභ්‍ය වචන පවා භාවිත කරමින් වයර්ලස් ගුණදාස තැන තැන කෑමොර ගැසීම පෙළපාලි සංවිධායකයන්ගේ ප්‍රසාදයට ගෝචර නොවීය.
වයර්ලස් ගුණදාස දිගින් දිගටම මේ කරන අවලාද සහ සන්නද්ධ ව්‍යාපාර විවේචනයට පිළිතුරු වශයෙන් ඔහුගේ මුවට වෙඩි තබා ඝාතනය කර තිබීම පිළිබඳව ගම්වාසී සියලු දෙනාම පාහේ මුනිවත රැක්‌කෝය. ඒ එම ක්‍රියාව අනුමත කිරීම හෝ ඊට එරෙහිව දෙඩීමෙන් තම මරණයද ළඟා කර ගැනීමට ඔවුන් කිසිදා අපේක්‍ෂා නොකළ බැවිනි. ගුණදාසගේ ගෙල එල්ලා තිබූ ප්‍රකාශය කියවීම පවා කිසිවකු ඉදිරිපත් නොවුණි.
ඝාතනය තමාගේ අතින් නොවුණත් ඒ සඳහා නියෝගයට තම අත්සන යෙදූ බව උපක හිමියන් මතක් කළේ දැඩි කලකිරීමෙනි. මේ සියලු සිද්ධි දාමය පිළිබඳව ආවර්ජනය වත්ම උපක හිමියන්ගේ දෙනෙත් තදින් පියවුණි. ජයසුන්දර වශයෙන් එවකට තමා වෙත තිබූ "අධිකරණ බලතල" මේ තීරණයන්ට ප්‍රධාන හේතුව බවද උන්වහන්සේට කල්පනා විය.
අදිසි විප්ලවය හරහා එවකට රජය අප්‍රසාදයට පත්කළ හැකි සියලු සන්නද්ධ ක්‍රියාමාර්ග සඳහා තීරණ ගැනීම සැලසුම් සැදීම තමාගේ නායකත්වයෙන් ඉටුවූ අයුරු උන්වහන්සේට මතක් විය.
මුල් වකවානුවේ ජන සමාජය උඩු යටිකුරු කරමින් ක්‍රියාත්මක වූ අරගලයට කණකොකා හඬන ලද්දේ රජය විසින් ප්‍රති විප්ලවය ආරම්භ කිරීමත් සමඟය. අරගලයේ සාමාජිකයන් අත්අඩංගුවට පත්වීම්, තැන තැන ඝාතනය වීම්, මහා පරිමාණව සිදුවත්ම ඉන් තමාද සලිත වූ බව උපක හිමියන්ගේ මතකයට නැඟුණි.
එසේම මේ තත්ත්වය නිසා ජයසුන්දරගේ පියා ඇතුළු පවුල භීතියට පත්වූයේ තම පුත්‍රයාද මෙම සන්නද්ධ අරගලයට යහමින් එකතුව සිටි බව දන්නා නිසාය. එම කාලසීමාවේදී ජයසුන්දර සමඟ අරගල සංවිධානයේ සක්‍රීය ලෙස සාමාජිකත්වය දැරුවෙකු වූ ජයසිංහ අතුරුදන්වීම සංවිධානයේ පෙර ගමන්කරුවන් තවත් සසල කරවන්නක් විය.
පියා වශයෙන් විදුහල්පතිතුමා තම පුත්‍රයාට මේ කටයුතුවලින් ඉවත්වන ලෙස වරින් වර අවවාද කළද දැඩි බලපෑමක් නොකළේ නුදුරු අනාගතයේ රට තුළ ස්‌ථාපිත වන විප්ලවකාරී රජයක ප්‍රබල චරිතයක් තම පුත්‍රයාට අනිවාර්යෙන් ලැබෙන බව උපකල්පනය කිරීම හේතුවෙනි.
එහෙත් ගමේ තරුණයන් දෙදෙනකු යළිත් ඝාතනය වීම හමුවේ තවදුරටත් මේ දෙස උපේක්‍ෂාවෙන් බලා නොසිටිය යුතු බව විදුහල්පතිට හැඟුණි. යම් ලෙසකින් අත්අඩංගුවට පත්වන තැනැත්තකු තම පුත්‍රයා ගැන අනාවරණය කළහොත් එය පවුලේ සියලු අපේක්‍ෂා භංගත්වයට පත්විය හැකි දෙයක් බවද විදුහල්පතිතුමා සිතුවේය.
රජයේ හමුදාවේ ඊළඟ ගොදුර තම පුත්‍රයා වීමට බොහෝ සාධක නිර්මාණය වෙමින් පවතින බව පසක් කළ විදුහල්පතිතුමා වහාම අගනුවර කාර්යාලයක විධායක තනතුරක් දරන තම වැඩිමහල් පුත්‍රයා සමඟ සාකච්ඡා කළේය. රැය පහන් වන තුරු කළ සාකච්ඡා ප්‍රබල විය. එදිනම රාත්‍රිය වුවද අවිනිශ්චිත බව තේරුම් ගත් පිය පුතු පසුදින අරුණෝදය නැඟෙත්ම ජයසුන්දර අගනුවරට කැඳවාගෙන යෑමට සමත් වූහ.
පුතා ගැන විමසූ ගැමියන්ට පියාගෙන් ලැබුණ පිළිතුර වූයේ ඔහුට රජයෙන් ලැබුණ ශිෂ්‍යත්වයක් හේතුවෙන් තායිලන්තය වෙත ගිය බවය. විදුහල්පතිතුමාගේ ප්‍රකාශය පිළිබඳවද ගැමියන් ඊට එහා විමසීමක් කළේ නැත.
තමාගේ ජීවිතයේ එක් පරිච්ඡේදයක් එසේ අවසන් වූ වග මෙනෙහි කළ උපක හිමි දෑස හැර යහනේ ඉරියව්ව වෙනස් කළේය.
ඝාතනය කිරීම්, අතුරුදන් කිරීම් ආදියෙන් අරගලය පරාජයට පත්කළ රජයේ හමුදාව ඊළඟට නිවෙස්‌වලින් පලාගිය පිරිස් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළේය.
තම සොහොයුරාගේ කොළඹ නවාතැනේ හුන් ජයසුන්දරගේ ආරක්‍ෂිත භාවය පිළිබඳ තවදුරටත් සිතා බැලූ දෙමාපියන්, තවත් ආරක්‌ෂක පියවරක් ලෙස රත්නපුර, කරඳන ප්‍රදේශයේ විහාරස්‌ථානයක නායක හිමි හමුවූයේ උන්වහන්සේ තම පවුල සමඟ සමීප ඥතීත්වයක් තිබූ හේතුවෙනි. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ජයසුන්දර "උපක" නමින් එම විහාරස්‌ථානයේ සසුන්ගත වීමය.
රට ගිය තම පුතා එහිදී බුදු දහම මැනවින් හදාරා යළි සියරට පැමිණ සසුන්ගත වූ බව විදුහල්පතිතුමා විසින් පළමුවෙන් ප්‍රකාශ කළේ ගමේ විහාරාධිපති ස්‌වාමීන් වහන්සේටය. ඉන් අමන්දානන්දයට පත් ලොකු හාමුදුරුවෝ උපක හිමි හැකි ඉක්‌මනින් තම විහාරයට කැඳවා ගෙන එන ලෙස ඉල්ලීමක් කළහ.
පශ්චාත් අරගල සමයේ වුවද වරින් වර සැක කටයුතු තරුණයන් එකා දෙන්නා අත්අඩංගුවට පත්වීම සිදුවන හෙයින් තම පුත්‍රයා ගමට කැඳවාගෙන ඒම ප්‍රඥ ගෝචර නොවන බව පියාත් වැඩිමහල් සොයුරත් ගත් තීරණය උපක හිමියන්ද අනුමත කළේය.
එහෙත් තමාට නුහුරු වූ මෙම සසුන් දිවිය අත්හැරීමට ජයසුන්දර ඉක්‌මන් වුවද යුද හමුදා ක්‍රියා කලාපය සහ රට තුළ වූ තත්ත්වය ගැන නිරන්තර අවධානයෙන් උන් පියා ඊට අනුබල නොදුන්නේය.
"ටික කාලෙකින් උපැවිදි වෙලා රක්‍ෂාවක් හොයා ගන්නවා. ඔක්‌කොම හරි එතකොට. එතකල් ඉන්න" ඒ පියාගේ අදහසයි. දින සති මාසවලට පත්වුණි.
ගමේ පන්සලේ නායක හිමි ගිලන් වූ හෙයින් කිහිප වාරයක්‌ම මහනුවර ආරෝග්‍යශාලාවට ඇතුළත් කිරීමට සිදුවිනි. උන්වහන්සේට හිමි එකම ගෝලයා හමුවූ කුඩා සංකිච්ච හිමිට මේ සියලු වගකීම් දරා ගැනීමට ශක්‌තියක් නොතිබිණි. එහෙයින් ගම්මුන්ගේ අභිප්‍රාය වූයේ උපක ස්‌වාමීන් වහන්සේ ටික කලකට තම පන්සලට කැඳවාගෙන ඒමටයි. එහෙයින් ඔවුන් නිරන්තරව විදුහල්පතිතුමාට ඇවිටිලි කරන්නට වූහ.
මේ දැඩි ඉල්ලීමට එකඟ නොවී සිටීමට තරම් සාධාරණ හේතුවක් ඔහුට තිබුණේ නැත. ඊට හේතුව ඔහු පන්සලේ ප්‍රධාන දායකයා වූ හෙයිනි. එහෙත් එම තීරණය පුතාගේ උපැවිදි වීමට බාධාවක් වන බව සිතුවද මේ අවස්‌ථාවේ ගමට පැමිණ ලොකු හාමුදුරුවන්ට උවටැන් කිරීම හේතුවෙන් තම පුතාට ගමේ ගෞරවය හා විශ්වාසය තහවුරු කරගත හැකි බව විදුහල්පතිතුමා අනුමාන කළේය.
එසේ නොමැතිව මෙවන් තීරණාත්මක අවස්‌ථාවකදී පවා ගමට නොපැමිණීම පිළිබඳව අංශු මාත්‍රයක හෝ සැකයක් ජනිත වීමට බොහෝ දුරට අවස්‌ථාව ඇති බව පිය පුතුන් වටහා ගත්තෝය.
"ටික දවසක් පන්සලේ ඉඳල ලොකු හාමුදුරුවන්ට සුව අතට හැරුණාම ආපසු එක්‌ක ගිහින් සිවුර අරින්නට සලස්‌වමු. "ආයෙත් රට ගියා - ගිහින් එහිදී උපැවිදි වුණා" කියලා ප්‍රචාරය කරමු. මිනිස්‌සු ඒ තරම් ඒ ගැන හිතන එකක් නැහැ එතකොට" ඒ වැඩිමහල් සොයුරාගේ අදහස විය.
සියල්ල උඩු යටිකුරු වීමට හේතු වූයේ උපක හිමි ගමේ පන්සලට විත් ආවතේව කරන අතරතුර ලොකු හාමුදුරුවෝ අපවත් වීමයි.
ආදාහන උත්සවයේ සියලු කාර්යයන්ගේ නායකත්වය උපක හිමි භාරගත් අතර මනා කළමනාකාරිත්වයකින් යුතුව සියල්ල සිදුවිය. උපක හිමියන්ගේ නායකත්ව හැකියාව ගැන ප්‍රශංසා කළ ගම්හු තමා අතරමං කර යළි කොළඹට නොවඩින ලෙස දෙපාමුල වැටී ඉල්ලීමක් කළහ. එම ඉල්ලීම ප්‍රතික්‌ෂේප කිරීමට නොහැකිවූ උපක හිමි තාවකාලිකව එය භාරගත්තේ, "හරි ටිකක් කල් ගියාම කොළඹ යනවා. ඉන් පස්‌සේ පුතා රට යනවා. එහිදී සිවුරු අරිනවා. ඉන්පස්‌සේ ලංකාවට එනවා ඒකයි කතාව" පවුලේ ඒකමතික තීරණය විය.
ගල්වළේ වැඩ කිරීමේදී වයර්ලස් ගුණදාසගේ බිරිඳ වන කමලාවතීගේ කකුලක් බිඳී ගියේ ස්‌වාමියාගේ අවුරුද්දේ දානයට සුමාන දෙකක් තිබියදීය. වැඩපළේ සේවකයන්ගේ මැදිහත් වීමෙන් වහා අකුරණ රෝහලට ඇතුළත් කළ ඈ දින ගණනාවකින් නිවසට පැමිණියේ කලවා දක්‌වා දැමූ ප්ලාස්‌ටරයක් සහිතවය.
ස්‌වාමිපුරුෂයාගේ දානය කෙසේ වුවද තමාගේ හා දරු දෙදෙනාගේ එදිනෙදා ආහාර පවා සපයාගත නොහී ඇය ඇඳ මතම වැද හොත්තීය.
වයර්ලස් ගුණදාසගේ දානය මේ හේතුව නිසා කල් යා හැකි බව අවබෝධ කරගත් අසල්වැසියන් තම තරුණ දූ පුතුන් සමඟ දානය තම අතට ගෙන එහි සංවිධාන කටයුතු කිරීමට පෙළඹීම විශේෂත්වයක් විය.
ගමේ කුඩා එකාගේ සිට මහල්ලා දක්‌වා කමලාවතී පිළිබඳ යථාර්ථය තේරුම්ගෙන ඇයට උදව් කිරීමට පෙළඹුණද ගුණදාසගේ මරණය සිදුවූ වකවානුවේ තමාට එම මනුස්‌සකම පිළිබඳ අවබෝධ නොවූයේ මක්‌නිසාද යන්න උපක හිමිට මතකයට ආවේ දැඩි කලකිරීමකුත් සමඟය.
කමලාවතීගේ නිවසේ වූ දානය දින සවස ඒ ගැන මෙනෙහි කරමින් සයනේ සැතපී සිටි උපක හිමිට අද රාත්‍රී උපැවිදි කිරීම සඳහා හොර රහසේ තමා කැටුව යැමට පැමිණෙන තම පියා සහ සොයුරා ගැන මතක් වුණි. පාන්දර තුන වන විට තමා පැමිණෙන බවත්, සූදානම්ව සිටින ලෙසත් කිසිවකුට නොදැනෙන ලෙස මෙය සිදුවිය යුතු බවත් පියා දන්වා ඒවා තිබුණි.
කමලාවතීගේ නිවසට තමා ඇතුළු සඟරුවන දානයට වැඩම කරන විට බිම මෙට්‌ටයක වැදගොස් ඇය දොහොත් මුදුන් දී තමනට වන්දනා කළ ආකාරය උන්වහන්සේගේ සිහියට නැඟුණි. මේ කිසිවක් පිළිබඳ අවධානයක් නොවූ ඇගේ සිඟිති දරුවා කලකින් ලැබුණ රසවත් බත් පිඟානක් ගිජු ලෙසින් භුක්‌ති විඳින ආකාරය උන්වහන්සේගේ මතකයට නැඟුණ්.
මේ ඛේදවාචකයට තමාත් වගකිව යුතු බව මතකයට නැඟෙත්ම උපක හිමිට දැඩි ආත්ම වේදනාවක් ඇතිවුණි.
උපක හිමි කහට කෝප්පයක් වළදා බෝ මළුව යටට ගියේ වේලාව රාත්‍රී දහය පසුවූ විටය. වෙහෙරත් බෝධියත් සඳ රැසින් ඒකාලෝක වී තිබිණි. උන්වහන්සේ දැඩි වගකීමක් සිතින් පුරවාගෙන බෝමළුවේ නිසලව වාඩිවිය.
වේලාව පාන්දර තුනයි. වාහනයක ශබ්දයක් පන්සලේ මිදුලේ ඇසුණි. කාමරයේ පොඩි හාමුදුරුවෝ නොමැති තැන විදුහල්පතිතුමා වටපිට ඇවිද්දේය. බෝමළුව යට එරමිණිය ගොතාගෙන වාඩිවී නිසලව සිටින සිය පුතු දුටු ඔහු ශබ්ද නොනැඟෙන සේ එතැනට පැමිණියේය.
"මොකද ඔතන - ලෑස්‌ති නැද්ද" ඒ පියාගේ හඬ විය. ඊට පිළිතුරු ලෙස උපක හිමි දෙපසට හිස වැනුවේය. පියා සඳ එළියෙන් එය දුටුවේය.
"එහෙනම්"
"තාත්තේ මේ සියල්ල රස තෘෂ්ණාවන් අවදි කරන මාර සේනාවන් - සංසාරෙ තියෙන මේ ඇල්මත් ගැටීමත් අපි අවබෝධ කරගමු"
මා කළ පාප ක්‍රියාවන් මට කමටහනක් වුණා. කමලාවතීගේ පවුල තමයි මට සැබෑ කමටහන වුණේ"
"පුතේ පොඩි හාමුදුරුවනේ"
"මට දැන් කිසිම ඡන්ද රාගයක් නැහැ තාත්තේ" තම පියාගේ දෙකොපුල කඳුළක් ගලන බව මෝරන සඳරැසින් පොඩි හාමුදුරුවෝ දුටුවේය.
"තාත්තේ ඔය කඳුළු උපන්නේ රූපයක් ස්‌පර්ශ වී හටගත් වේදනාව නිසා අනිත්‍ය වූ රූපයත්, ස්‌පර්ශයත් නිසා කඳුළු සාගරයක ගිලුණ අප මුලා වූ සත්වයෝමය. - ඔය යථාර්ථය තේරුම් ගැනීම තමා සම්මා දිට්‌ඨිය කියන්නේ තාත්තේ මහණකමත් ජීවිතයත් මට දෙකක් නොවෙයි එකක්"
මගේ සිත දැන් ප්‍රභාශ්වරයි මට අලුත් ආලෝකයක් පේනවා. උපක හිමි සෙමින් පවසනු ඇසුණි"
"අපේ සැලැස්‌ම හාමුදුරුවනේ?"
ඒ සියල්ල අතීතයයි තාත්තේ - අපි වර්තමානයේ ජීවත් වෙමු. මම විඳින මේ සැහැල්ලුවේ සුවය තාත්තාටත් දැනෙනවානං"
දෙකොපුලින් වැටුණ කඳුළු බිඳු කිහිපයක් වැලි මළුවට උරා ගනිද්දී විදුහල්පතිතුමා දොහොත් මුදුන් දී පහත් වුණි.
මෙතෙක් කලක් බෝධියට ඇලී සිටි බෝපතක් නටුවෙන් ගිලිහී උපක හිමි ළඟට මඳ සුළඟේ සෙමින් පහත් වුණි. මුවඟට නැඟුණ මඳ සිනහවෙන් යුතුව උපක හිමි ලිහිල් වී තිබුණ සිවුර තදින් හැඳ ගත්තේය.