
සිල්වා රාගම දුම්රිය පොලෙන් කෝච්චියට ගොඩ වී මැදිරියක හිස්ව තිබුණු ආසනයක වාඩි විය. මහත්
සේ කලකිරුණු වේදනාත්මක ඉරියව්වකින් සිටි ඔහු ඉක්මණින්ම බර කල්පනාවකට වැටුණි. කෝච්චිය
හෙලවි හෙලවී ගමන් කරණවිට තමන්ට ඉදිරි ආසනයේ තමන් මෙන්ම හෙලවි හෙලවී සිටි මගියෙකු
තමන් දෙස උවමනාවෙන් බලා සිටින බව, කල්පනාවෙන් මිදුනු සිල්වාට දැකගත හැකි විය. සිල්වාද ඔහු
දෙස ඕනෑකමින් හොඳට බැලුවේය. ඉදිරියේ සිටි මිනිහා සිනා සී,
“මුදලාලිට මාව මතකද?” ඇසුවේය.
“දැකලා පුරුදුයි වගේ…….. ඒත් එකපාරටම කියන්න නිච්චියක් නෑ”. එසේ කියූ සිල්වා තවමත්
ඕනෑකමින් ඔහු දෙස බලා සිටිමින්ම මේ කවුදැයි කල්පනා කරන්නට විය.
“ඇයි මතක නැද්ද? මුදලාලිගෙ ගම්පහ කඬේට අල්ලපු බෝතල් පත්තර කඬේ දාගෙන හිටියෙ. මම
නඩරාජා.”
“අම්මපා! මේ නඩා නේන්නං.”
සිල්වා උතුරා යන මහත් සතුටින් නඩරාජාගේ දෑතම අල්ලා ගත්තේය. මහඵ වියට පත් තමාට එතරම්
සමීපව සිටි නඩරාජා අමතක වීම ගැන සිල්වාට ලජ්ජාවක්ද දැනුණි. එතැන් සිට නඩරාජා කුරුණෑගලින්
බසිනතුරු ඔවුන් දෙදෙනා යෙදුණු සුහද සංවාදයෙහි කොටසකි මේ.
සිල්වා – කොච්චර කාලෙකට පස්සෙද නඩාව දැක්කෙ?
නඩා – පනස් අටේ කෝලහලෙට පස්සෙ අදනෙ දැක්කෙ. (කාලය ගණන් බලා) අයියෝ කඩවුලේ
2
අවුරුදු තිහක් ! පුඃ !!
සිල්වා – මොන තරම් සන්තෝසද සෑහෙන කාලෙකින් දැකගන්න ලැබුනාට.
නඩා – මටත් හුඟාක් සන්තෝසයි තමා. දැන් අපි නාකියො වෙලා.
සිල්වා – දැන් ඉතිං කොහෙද මේ යන්නෙ?
නඩා – මම යනවා මගෙ ගේනි බලන්න කුරුණෑගල.
සිල්වා – මොකද එයා එහෙ කරන්නෙ?
නඩා – ලොකු බංගලාවක වැඩ. ඉතිං, මුදලාලි තමුසෙ කොහෙද යන්නෙ?
සිල්වා – මම යනවා අනුරාධපුරේටත් එහා, සේනපුර අනාථ කඳවුරට මගෙ නංගිව බලලා එන්න.
නඩා – එයා එතන මොකද?
සිල්වා – ඒගොල්ල අනාත වෙලා. පවුල පිටින්ම ඉන්නෙ එතන. තමුසෙලාගෙ කොටි ඒගොල්ලන්ගෙ
ගෙවල් ගිනි තියලා එලෙව්වානෙ.
නඩා – අයියෝ ෂාමි…….. පවු……. (මොහොතක නිහැඬියාවක්) …….. ඉතිං ඇයි ඒගොල්ලන්ව
මුදලාලිගෙ ගෙදරට එක්ක එන්නෙ නැත්තෙ?
සිල්වා – මස්සිනා කැමති නෑ උපන් ගම දාලා එන්න. තත්වෙ හොඳ උනාම කොහොමහරි හිටපු තැනට
කවදාහරි යන්න තමයි එ්ගොල්ල බලාපොරොත්තුවෙන් ඉන්නෙ. එ්ත ඉති කවදා නං තත්වෙ
හොඳ වෙයිද කවුද දන්නෙ. මම යං කියලා අඬගැහුවා එ ්ත් එන්නෙ නෑ. මොනවා කරන්නද?
………ඈයි ඇයි තමුසෙලාගෙ ඔය කොටි ඔය වගේ දරුණු විදියට හැසිරෙන්නෙ?
නඩා – ඒ තරුණ කොල්ලො කියනවා "ඒගොල්ලො කොටි උනේ කවදාවත් දෙමෙලුන්ගෙ ප්‍රශ්න
විසඳෙන්නෙ නැති හින්දා ̈. එ ්ගොල්ලො ඉගෙන ගත්තාට වැඩක් නෑ ̈. ජොබ්ස් නෑ ̈.
අනාගතේ නෑ ̈. ඒගොල්ලන්ට සලකන විදිය අසාධාරණයි ̈. ඉතිං බැරිම තැන රටක්
හදන ්න තමයි එ ්ගොල්ලන්ට ඕනැ වෙලා තියෙන්නෙ.
සිල්වා – ඉතිං ඕයි අපේ සිංහල කොල්ලොත් කියන්නෙ ඔය ටිකමනෙ.
නඩා – ඇත්තට? හරිම ප්‍රශ්නය තමයි.
සිල්වා – කොහොම උනත් තමුසෙලාගෙ කොටි අපේ මිනිස්සුන්ව අනාත කඳවුරුවල ලග්ගෝපු එක
හරිය කියලා හිතනවද?
නඩා – වැරදියි……. සම්පූර්ණයෙන්ම වැරදියි ! (නිහඬතාවයක්) මුදලාලි, අපිත් හිටියනෙ අනාත
කඳවුරක.
සිල්වා – ඇතිතට? ඒ කොහොමද?
3
නඩා – ඇයි මුදලාලි, අපි වඩමරච්චියෙ ඉන්නකොට සිංහල ආමි එක අපේ ගෙවල් කැඩුවනෙ. උඩින්
ඇවිල්ලාත් බෝම්බ දැම්මා. පොලොව දිගේ ඇවිල්ලාත් ෂෙල් ගැහුවා. අපි හිටියෙ ගේනිගෙ
තාත්තාගෙ ගෙදර. ඉතිං ඒ ගේත් කැඩිලා ඉන්න තැනක් නැතුව කෝවිලේ අනාත කඳවුරක
හිටියා. අපි විතරක් නෙවේ මුදලාලි, තමුසෙ දන්නවාද ඉන්ඩියන් ආමි ආවට පස්සෙ තවත්
දෙමළ අනාතයො ඉන්නවා. අදත් ඉන්නවා.
සිල්වා – නඩා කොච්චර කල් හිටියාද අනාත කඳවුරේ?
නඩා – ඉඳලා ඉඳලා බැරිම තැන එ ්කෙන් පැනලා අපි මෙහෙ ආවා, ගිය මාසෙ. ගේනි බංගලාවක
රස්සාවකට ගියා. මම කොළඹ හෝටලේක වැඩ. ගේනිගෙ අම්මලා තාත්තලා තාම යාපනේ.
දැං මැරිලාද දන්නෙ නෑ. දැනගන්න විදියකුත් නෑ.
සිල්වා – තමුසෙට දැන් දරුවොත් ඇතිනෙ?
නඩා – කොල්ලො දෙන්නෙක් හිටියා මුදලාලි.
සිල්වා – ඉතිං ඒ දෙන්නා?
නඩා – දෙන්නාම ටයිගර්ස්ලාට එකතු උනා. එක්කෙනෙක් මැරුණා. අනිකා ඉන්නව ̈……… කොහෙ
ඉන්නවද දන්නෙ නෑ. (නිහැඬියාවක්) …….මුදලාලිගෙ ළමයි?
සිල්වා – ඔවු. දුවයි, පුතයි.
නඩා – දෙන්නාට වරදක් නැතුව ඇතිනෙ?
සිල්වා – දුව උගන්නනවා අම්පාර පැත්තෙ. දැන් හරිම භයානක පැත්තක්. අපි එයා ගැන හරිම බයෙන්
ඉන්නෙ.
නඩා – එතකොට පුතා?
සිල්වා – පුතා විශ්ව විද්‍යාලෙට ගියා ගියාමයි. (දිග සුසුමක් හෙලයි)
නඩා – ඇයි මුදලාලි?
සිල්වා – ඌ ජේ.වී.පී. එකට එකතුවෙලා ̈. ඉන්නවාද මැරිලාද දන්නෙ නෑ. කිසිම ආරංචියක් නෑ.
නඩා – හරි වැඬේනෙ, මට වෙච්ච දේමයි.
(දෙදෙනාම බොහෝ වේලාවක් නිහඬව සිටිති.)
නඩා – මුදලාලි, සිංහල පොලීසියයි ආමි එකයි අපේ කොල්ලො හොය හොයා අපේ ගෙවල් කඩලා
ගිනි තිබ්බනෙ. දෙමළ මිනිස්සුත් මැරුවනෙ. දැං එ ්ගොල්ලො සිංහල මිනිස්සුන්ගෙ ගෙවලුත්
කඩනව ̈, ගිනි තියනව ̈, ඉස්කෝලෙ යන දරුවොත් විනාස කරනව ̈, නේද?
සිල්වා – ඒක නේන්නං බලනවකො.
4
නඩා – අපිටත් කළේ ඔය ටිකමයි මුදලාලි…… ඉතිං මුදලාලි, ඔය සිංහල පොලීසියයි, ආමි එකයි අපේ
කොල්ලො එක්ක යුද්ද කරනකොට සිංහල මිනිස්සු, අම්මලා තාත්තලා පන්සලේ පූජා තිබ්බා
නේද, “අපේ ආමි පොලිස් ආරක්ෂා කරන්න”, කියලා?
සිල්වා – ඔව් ඕයි. හහක් ලියා බෝදි පූජා කරන්ඩ.
නඩා – අන්න හරි ! බෝති පූජා! (නඩරාජාට මහ හඬින් සිනා නැගෙයි.)
සිල්වා – මළ ඉලව්ව !
(සිල්වා නොරුස්නා කේන්ති ඉරියව්වකින් ඉවත බලා සිටියි.)
නඩා – ඔය ආමි එක, පොලීසිය තමුසෙලාගෙත් නෙවෙයි, අපෙත් නෙවෙයි මුදලාලි…… අයියෝ ෂාමි!
දෙමළ මිනිහත් මැරෙනවා, සිංහල මිනිහත් මැරෙනවා. ඉවර නෑ. නරක කාලෙ තමයි.
(සිල්වා සහ නඩරාජා නැවතත් නිහඬව සුසුම් හෙලති.)
සිල්වා – ඈ නඩා, තමුසෙ පනස් අටේ කෝලහලෙදි තමුසෙගෙ ගම්පහ කඬේ නැති උනාට පස්සෙ
මොනවද කළේ? කොහොමද ජීවත් උනේ?
නඩා – කඬේ කඩාපු දවසෙ තමුසෙ මාව හංගාගෙන හිටියානෙ. ඒක හින්දා මාව බේරුනා. මට ඒක
අමතක වෙන්නෙ නෑ. තමුසෙ එදා දෙයියො වගේ මට බැලුවා.
සිල්වා – මම ඒක කළේ මනුස්සකමට.
නඩා – ඒ කෝලාලෙ ඉවරවෙලා මම කොච්චියෙ ආවා යාපනේ. ඇවි යාපනේ මාකට් එකේ මාලු
ලෑල්ලක් දැම්මා. ටිකක් ටිකක් ෂල්ලි ආවාම සිල්ලර කඩයක් දැම්මා, ටවුමෙ පොලීසිය කිට්ටුව.
ටික ටික මට හොඳ උනා. මම කසාද බැන්දා. ළමයි හම්බ උනා. ඔහොම ඉන්නකොට තමයි
එයිටිවන් අවුරුද්දෙ පොලිස් රාළහාමිලාට කවුද වෙඩි තියලා මැරුවා කියලා පොලීසිය ඇවිත්
ටවුමෙ කඩ කැඩුවා. අපේ කඩෙත් කැඩුවා. මම මොනවා කරන්නද මුදලාලි? මම අහිංසක
මිනිහා. මගෙ කඬේ ඉවරයි. ආයිත් පාරක් මගෙ ඔක්කොම සුරුස් ගානකොට ඉවරයි.
(ඔහු හඬ නොනැගෙන සේ, දුම්රියේ ජනේලයට ඔලුව තබාගෙන සිල්වාට හැර වෙනත් අයට
නොපෙනෙන සේ අඬයි.)
සිල්වා – අපොයි දෙයියනේ !
(නඩරාජා ඇඬීම අවසන් වූ පසු සුසුමක් ඇර රහසින් කඳු`ඵ පිසගෙන නැවතත් කෙළින් වෙයි.)
සිල්වා – බලනවකො ඕයි, මගෙ කඩෙත් කැඩුවනෙ.
නඩා – මොනවා? ගම්පහ කඬේ?
සිල්වා – ඔව්. එච්චරමනෙ මට ආදායමකට තිබුනෙ.
5
නඩා – කවුද කැඩුවෙ? පොලිස්ද? ආමිද?
සිල්වා – දෙගොල්ලන්ගෙන් කවුරුහරි.
නඩා – මොකද ඒ කැඩුවෙ?
සිල්වා – ෙදාලොස් වෙනිදා කඩ වහන්න කියලා කොල්ලො කඬේට ඇවිත් ලියුමක් දුන්නා. ඉතිං
නොවහා පු`ඵවනැ. මම කඬේ වහලා ගෙදරට වෙලා හිටියා. හදිසියෙ මට ආරංචි උනා
ටවුමෙ වහපු කඩ කඩනවා කියලා. ඉතිං මම දුවගෙන ආවා. ඇවිත් බලනකොට කඬේ කඩලා
ඇරලා. බාගයක් විතර බඩු අඩුයි. ඇදලා.
නඩා – තමුසෙගෙ බඩු බාගෙද නැති උනේ? මගෙ ඔක්කොම තමයි නැති උනේ. තුන්පාරක්ම
ඔක්කොම නැති උනා. පනස් අටේ ගම්පහදි. එයිටි වන් යාපනේදි. එයිටි සික්ස්
වඩමරච්චියෙදි. ඔක්කොම නැති උනා. ඔහොම යනකොට, තව ටික දවසකින්
තමුසෙලාගෙත් ඔක්කොම නැතිවෙයි.
සිල්වා – ඒ කොහොමද?
නඩා – මම පොඩි ජාතියෙ එකා හින්දා ඔක්කොම එකපාරටම නැති උනා. තමුසෙලා ලොකු
ජාතියනෙ. ඒක හින්දා ටික ටික හෙමින් හෙමින් තමයි නැති වෙන්නෙ. බලනවා මං
කියන්නෙ බොරුද කියලා.
සිල්වා – හැබෑමයි.
නඩා – ඉස්සර සිංහල පොලීසියයි ආමි එකයි යාපනේ හිටියා. අපි බයෙන් හිටියා. අපි විනාස
උනා. දැං ඉන්නවා ඉන්ඩියන් ආමි. අපි තවත් විනාසයි. ඉන්න තැනුත් නැතිවෙලා. කන්න
නැතිවෙලා. අපිට වගේ කවදාහරි ඉන්ඩියන් ආමි හරි ඇමරිකන් ආමි හරි ආවොත් සිංහල
මිනිහාට තව හොඳට තේරෙයි.
සිල්වා – ඇත්තටම එහෙම වෙයි ද නඩා?
නඩා – ඒක දෙයියො තමයි දන්නවා.
(සිල්වා නළලේ නැගුණු ඩා බිඳු පිසීමට බැනියම් සාක්කුවෙන් ලේනුසුව ගනිද්දී ඔහුගේ අතින් වේදනාවක නැගෙන බවත්, අතේ මැණික් කටුව තෙල් තැවරුණු රෙදි පටිවලින් වෙලා ඇති බවත් නඩරාජා දකියි.)
නඩා – ඇයි මුදලාලි මොකද අත?
සිල්වා – එදා ෙදොලොස් වෙනිදා මට සිද්ධ වෙච්ච දෙයක් තමයි.
නඩා – ආමිද? පොලිස්ද?
සිල්වා – සිවිල් ඇඳලා හිටියෙ. කවුද දන්නෙ නෑ.
6
නඩා – තමුසෙගෙ පුතා ජේ.වී.පී. ගියා කියලා එයාලා දන්නවද?
සිල්වා – ඒක හුඟක් අය දන්නවා.
නඩා – අයියෝ ෂාමි! මුදලාලි ඔය අතිනුත් අර බෝති පූජාවලට මල් ගත්තා නේද? පාන පත්තු
කළා නේද?
(සිල්වා නිරුත්තරව අසරණව බලා සිටියි. ටික වේලාවකින් දෙදෙනා යළි කතාබහ අරඹති.
දුම්රිය පණ අදිමින් ඇදි ඇදී යද්දී නඩරාජා කුරුණෑගලින් බසිනතුරුම ඔවුහු තවත් බොහෝ
දේ කථා කළහ.)
තුරග තරඟ පිටියේ වසර කීපයක අත්දැකීම් ඇතිව සිටි නිමතිලාල් ඔහු අසා ඇති වේගයෙන්ම දුවන අශ්වයා ගැනත් ඔහුට හමු වී ඇති දක්‍ෂම අශ්වාරෝහකයා ගැනත් කල්පනා කළේය. ඔහුට මේ ගැන කිසිදු සැකයක් නොවීය. සන්සුන් පෙනුමක් ඇති මිනිසා ඕනෑකමින්ම බොරු කියයි. මෙය සංදර්ශන කිරීමට සුදුසු වෙලාවක් නොවේ. එය පසුව නුවණින් විමසා බැලීම වඩා වාසි සහිතය. කිමතිලාල් හෙමිහිට එම ස්ථානයෙන් ලිස්සා ගියේය.
ගජනන්රා ඕ තොරතෝංචියක් නැතිව දක්වන සැකය ජෙයිසිගේ මනස තුළද තහවුරු විය. සන්ධ්‍යාවේ මධ්‍යම යාමයේ කෙතරම් අපුරු මායාවක්ද? තමන් සිතෙහි මවාගෙන සිටින දේ ඒත්තු ගනිමින් ඉතිරි පිරිස විසිර ගියහ.
සර්ධාරනී අවදි වී භූතයින් සහ ඝෝෂා කරන යක්‍ෂයින් ගැන කියමින් මොර දෙන්නට වුවාය. වෛද්‍යවරයා ඇයට නිදි බෙහෙත් විශාල ප්‍රමාණයක් ලබා දී ඇයව නින්දට යැවීය. පැය විසි හතරකට පසු ඇය දෙවන වර අවදි වූ විට ඇයට යථාර්ථය සහ මායාව අතර වෙනස හඳුනා ගත හැකි නොවීය.
...................................................................................
එම සන්ධ්‍යාවේ කිමතිලාල් දහතුන් වෙනි අශ්වයා සඳහා ඔට්ටු අල්ලා ජයග‍්‍රහණය කළේය. ජොයිසි ජාත්‍යන්තර පරිගණක උපදේශක ආයතනයේ දත්ත පරිගණක ගත කිරීමේ රැකියාව බාර ගත්තාය.
මවිත කරවන සුළු වෙනස ඇත්තටම ඇති වූයේ දිනකාර් චෛත්‍යන්නයාටයි. පැහැදිලිව කියනවා නම් ඔහු කර්තෘත්වය දරණ ඉන්දියන් ක්‍රොනිකල් පුවත්පතටයි. ඉන් පසු එළඹුන සති කීපය තුළ පුවත්පතේ අලෙවිය තුන් ගුණයකින් වැඩි විය. දිනාකර් තම පුවත්පතට ගවේෂණාත්මක පුවත්පත් කලාව එක් කරමින් නව මානයක් ඇති කළේය. ඔහුගේ තරගකාරී පුවත්පත් ආයතන සමාජශාලාවල සිදු වන අර්ධ සත්‍යයෙන් යුත් ඕපාදුප යොදා ගනිමින් දේශපාලන ගවේෂණත්මක පුවත්පත් කලාවක යෙදුණ අතර දිනකාර් ප්‍රබල සාක්‍ෂි සහිතව කරුණු අනාවරණය කළේය. මුල් ලියවිල්ලේ ඡායා පිටපත් සාක්‍ෂි ලෙස ඉදිරිපත් කරමින් ඉන්දියන් ක්‍රොනිකල් පුවත්පත ගවේෂණාත්මක පුවත්පත් කලාවේ ඒකාධිකාරය හිමි කර ගත්තේය.
එම දිනවල පෙනී ගියේ කිසිදු රහස්‍ය ලියවිල්ලක් දිනකාර්ගේ පුවත්පතේ විශේෂ වාර්තාකරුවන්ගෙන් ගැලවීමක් ලබා නැති බවයි. ඔහු ඉදිරිපත් කළ සංවේදී ලේඛනවලින් අනාවරණය වු තොරතුරුවලින් රජය අපහසුතාවට පත් විය. රටේ පරිපාලන යන්ත‍්‍රයේ ඉහළ මට්ටමේ සිදු වන දුෂණ අකාර්යක්‍ෂමතා සෑම දිනකම හෙළිදරව් කරමින් ජනතා අවධානය දිනා ගැනීමට පුවත්පත සමත් විය. ලිඛිත සාක්‍ෂිවලට අමතරව අමාත්‍යවරුන් සහ පෞද්ගලික ලේකම්වරුන් අතර උත්සව අවස්ථාවල සිදුවන සාකච්ඡා උපුටා දක්වමින් කරුණු පෙන්වා දීමට දිනකාර් සමත් විය. විරුද්ධ පාක්‍ෂිකයින් විසින් ඉස්මතු කරන ලද මධ්‍යම රජයේ කැබිනට් මණ්ඩලය හොඳින් හිතා බලා ගත් ඉතාමත් රහස්‍ය තීරණ, නගරය කටකතා වලින් පිරවීමට සමත් විය. දිනකාර් චෛතන්‍යා රජය බලෙන් අවදි කරවා ශීත කාමරවල නින්දේ සුවපහසු ලෙස නිදන අයගේ කටයුතු පිළිබඳ කුඩා දේ විශාල කොට පෙන්වන කණ්ණාඩියකින් මෙන් පෙන්වා මහජනතාවට අවබෝධයක් ලබා දුන්නේය.
මෙහි පසුබිමේ සිටියේ වැඩි ප්‍රසිද්ධියක් නැති රාජ්‍ය ආයතනයි. දිනකාර් චෛතන්‍යයා කුමන අන්දමේ ජාලයක් පවත්වා නඩත්තු කරන්නේ ද? එය ජාලයකි. ඕනෑම දෙපාර්තමේන්තුවක ඕනෑම ලේඛනයකට ළඟා වීමට ඔහුට හැකියාව ලැබී ඇත්තේ කෙසේද? ආරක්‍ෂාක විධිවිධාන ඉතා තදින් ක්‍රියාත්මක වේ. ඔහුගේ සම්බන්ධතා, ගමන්-බිමන් සහ හැසිරීම් ඉතා සමීපව නිරීක්‍ෂණය කරනු ලැබීය. රජයේ රහස් පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් රජයට ලබා දෙන ලද්දේ සරල විශ්වාස කළ නොහැකි වාර්තාවකි.
දිනකාර් චෛත්‍යන්‍යයා හෝ ඔහුගේ කාර්ය මණ්ඩලයේ කිසිවෙක් ඔහුගේ පුවත්පතේ පළ වන ගවේෂණවලට කිසිදු සම්බන්ධයක් නැත. ඔහුට සියලු වාර්තා සහ සාක්‍ෂි ලැබෙන්නේ නොදන්නා එකම මාර්ගයකිනි. ඒ මාර්ගය හඳුනා ගැනීමට කිසිදු ක්‍රමයක් නැත. දිනකාර් චෛත්‍යන්‍යාය පවා එම මාර්ගය පිළිබඳ නොදනියි. ඇත්තෙන්ම මෙම අභිරහස නිසා ඔහු පිස්සු වැටී ඇත.
රජයේ දක්‍ෂතම කණ්ඩායමක් විසින් සකස් කරන ලද වාර්තාවට අනුව වගකිව යුතු දෙදෙනෙකු ගැන රජයේ අවධානය යොමු කර තිබේ. ස්වදේශ කටයුතු- භාර ලේකම්වරයා තම දෑතම ඔසවා නිහඬ ආයාචනයක් කළේය. ගජනන්රා ඕ තමාටම ප්‍රශංශා කර ගත්තේය. හඳුනා ගැනීමෙන් වැළකී සිටීමට ඔහු දැරූ පුර්වෝපාය සාර්ථක වී තිබේ.
. 'මගෙන් ඔබට කෙරෙන්න ඕනෙ මොනවාද?”ගජනන්රා ඕ ආචාරශීලී ලෙස විමසුවේය. මෙම උදෑසන එම අමුත්තාව හමු වීමට ඔහු අපේක්‍ෂා නොකළේය.
කිමතිලාල් කෙළින්ම කාරණයට පිවිසියේය. 'මම කැමැතියි දැනගන්න සර් ඔබතුමා දිනාකර් චෛත්‍යන්‍යයාට දෙන ලේඛනයි ඡායාරූපයි ලබා ගන්නෙ කොහොමද කියල?”
ක්‍රීඩාව අවසන් වී තිබේ. එහෙත් ගජනන්රා ඕ නිර්භිත උත්සාහයක් දැරවේය. 'මට වැටහෙන්නෙ නැහැ. මොන ලියවිලිද? කවුද?”
'ඔබට කතාවක් ගොතන්න කාලය දෙන්න තරම් මම මෝඩයෙක් නෙවෙයි. ඔබට මාව අමතක වෙලා ඇති. එදා සෝපානයේදී මම තමයි නියම අංක පිළිවෙල දැන සිටි කෙනා. ඔබ වහාම මගෙ ප්‍රශ්නයට උත්තර දෙන්නෙ නැත්නම් මම ඔබේ නම රහස් තොරතුරු අංශයට හෙළි කරනවා. දිනකාර් පස්සෙන් යන එම කාර්යාලයේ නිලධාරීන් කිහිප දෙනෙකු ගැන මම දන්නවා. ගමට සහතිකයි ඔබ ඒ ගැන දන්න බව.
දිනාකර් ගේ පසුපස ඔහුගේ සෙවනැල්ලක් මෙන් දිවා රාත්‍රී සැරිසරන නියෝජිතයන් දහ දෙනාගේ නම්, ජීව දත්ත සහ ඡායාරූප එදින උදෑසන ගජනන්රා ඕ ඉන්දියන් ක්‍රොනිකල් පුවත්පත් කාර්යාලයට සැපයුවේය.
'ඇතුළට එන්න” ආරාධනාව නිසා කුතුහලය අඩු විය.
ඔවුන් සුව පහසු ලෙස අසුන් ගත් පසු ගජනන්රා ඕ කතාව ඇරඹුවේය. 'ඔබත් අහල ඇති කාල සංචාරය ගැන. මම අදහස් කළේ අතීතය බලා ගමන් කරන එක”
'ඇත්තෙන්ම ඇයි අතීතයට විතරක්. යෝගිවරු, ශාන්තුවරු වැනි අයට අතීතයට, වර්තමානයට විතරක් නෙවෙයි අනාගතයටත් යන්න පුළුවන්. මම දන්නවා හයිද්‍රබාද්වල ඉන්න අවාඩ්හුට් කෙනෙක් ගැන. එතුමාට එවැනි මායා බලයක් තියෙනවා”
'කරුණාකරල බාල ප්‍රචාරක කටයුතුවලින් මාව අත අරින්න. ඔය වගෙ ලට්ට ලොට්ට අපනයනයට නම් හොඳයි. අපට ඇත්තටම අතීතයට ආපහු ගමන් කරන්න පුළුවන්ද? අපි වෙනසකටත් එක්ක මේ ගැටලුව ගැන සුළුවෙන් ආරම්භ කරමු. මුලදිම කියනවා නම් අතීතය කියන්නෙ ගෙවිල ගිය තත්පරය වෙන්නත් පුළුවනි. අවුරුදු බිලියන ගාණක් වෙන්නත් පුළුවනි. ඔබට පුළුවන්ද මිනිත්තු කිහිපයක් ආපස්සට ගිහින් ඔබ ගැනම බලාගන්න? එහෙම ආපහු ගිහින් එන්න යන කාලය ගැන ඔබේ ප්‍රතික්‍රියාව මොකක්ද? එයින් කොයි කෙනාද? ඉස්සෙල්ල හිටපු කෙනාද? දැන් ඇත්තටම ඉන්න ඔබද?”
'ඔබ තවත් ආපස්සට ගොස් ඉතිහාසය දක්වා ගමන් කළොත්? ඉතිහාසය ඔබව පිළිගනීවිද? ඔබ ඉතිහාසය වෙනස් කිරීමට උත්සාහ කළොත්? එය වර්තමානයට මැදිහත් වීමක් වේවිද? එහෙම නැත්නම් ලෝක සම්මතයට පිටුපෑමක් වේව්ද? නිදසුනක් වශයෙන් ඔබ අවුරුදු සියයක් ආපස්සට ගොස් ඔබගේ මුනුපුරාව හමුවෙලා ඔහුගේ ළදරු වියේදීම ඔහුව මරා දැම්මොත්?”
'දැන් විකාර කතා කරන්නෙ කවුද?” කිමතිලාල් තියුණු ලෙස පැවසුවේය. 'මම ඔබගෙන් ඇහුවෙ එදා සෝපානයේදී ඔබ දවසම විනාශ කළේ කොහොමද කියල? ඒ වෙනුවට ඔබ ඉතිහාසයයි මුනුපුරණුයි ගැන කතා කරමින් කාලය නාස්ති කරනවා”
'ඔබට තවම තේරිලා නැහැ” ගජනන්රා ඕ තරමක මවිතයෙන් කීවේය. 'ඔබ එක්තරා අනුපිළිවෙලකට සෝපානයෙ බොත්තම් ඔබපු නිසා ඔබව වෙලාවට ආපසු නියම තැනට ගෙනාවා”
'ඒ කොහොමද? අපි ඔක්කොම වින්ධ්‍යා භවාන් සංකීර්ණයෙ එකට හිටියෙ. ඒත් භූතයො විදියට”
'මම ඒ කාරණයට එන්නම්. සෝපානය අපව ගෙන ගියා අවුරුදු ගාණකට නෙවෙයි කාලයෙන් දින තුනක් ආපස්සට. ඔබට මතක නම් අපි සෝපානයෙන් පිටතට සෙවැණැලි වගෙ එනකොට මම කෙනෙකුගෙ අත් ඔරලෝසුවෙ වෙලාව ගැන ඇහුවා. ඒකෙ වෙලාව විතරක් නෙවෙයි දිනය ගැනත් සඳහන් වෙනවා. ඒ මෙහොත් මට වැටහුණා අපි ගමන් කර තියන බවත් අපේ අමුතු තත්ත්වයට හේතුව කුමක්ද යන්න ගැනත්. කාලය සමඟ ගමන් කිරීම විය හැකි දෙයක්. ස්වභාවධර්මය අපට ඉඩ දීලා තියෙනවා අතීතයට පිවිසෙන්න. ඒත් ඒකට බාධා නොකර සිටීමේ දැඩි කොන්දේසිය මත. අතිතයේ සිටි මිනිස්සු සහ සිද්ධින්ගෙන් කිසිම ආකාරයෙන් අපට බලපෑමක් නැහැ. ඒක නිසා තමයි අපට අනෙක් හැම කෙනෙක්ම දකින්නයි අහන්නයි පුළුවන් වුණේ. එත් ඒ අය අපේ පැවැත්ම දකින්නෙ නැහැ. ඔබට මතකද ඔබ කිව්වා අතීතය අමතක කිරීම හොඳයි කියල. එය වචනානුසාරයෙන් ඇත්ත. ඒක ඉතිහාසය. එය නොකැඩුණු අසහාය දෙයක්”
ඉතිහාසයේ අසහාය බව හෝ එය දිගටම පවත්වාගෙන යාම ගැන කිමතිලාල්ට තේරුම් ගැනීමට නොහැකි විය. 'ඔබ කියන්නෙ ඔබ දිනකාර්ට සියලු ලේඛනයි ඡායාරූපයි සැපයුවේ දින තුනක් භූතයෙක් විදියට ආපසු ගිහිල්ල කියලද?”
'ඔව් ඇත්තටම. ඉතිහාසය වාර්තා කර තැබීමට එරෙහිව ස්වභාව ධර්මයේ නීතියක් නැහැ. දින තුනකට පෙර සිදු වූ සිද්ධි ඔබ ඉදිරියේ නැවත ප්‍රදර්ශනය වුණා. ඔබට පුළුවන් ඒවා ඡායාරූපගත කරන්න. අවශ්‍ය නම් හඬ පටිගත කරන්නත් පුළුවන්. ඒක හරියට වීඩියෝවක් බලනව වගෙයි. තුන් දිනකට පෙර ත්‍රිමාන ආකාරයට ඡායාරූපගත කළ ඒවා. වැඩ අවසන් වුණහම මම ආපහු සෝපානයට ගියා. ආපසු ඒමට නියෝගය දුන්නා. ආපස්සට ගිය දින තුන අවසන් කරල යළිත් වර්තමානයට ආවා”
කිමතිලාල් තිගැස්සුණි. ඔහු තුළ පැවති සූදුවට ඇති ඇල්ම අනාගත විශාල ජයග්‍රහණයක් පෙන්නුම් කළේය. 'ඒ කියන්නෙ සෝපානයෙ බොත්තම් එබීමෙන් ඔබට පුළුවන් දින තුනක් අනාගතයට යන්න” එකපිට එකට එන සිදුවීම්, අනිත් දවස්වලට වඩා අද වෙනස්, ඔහු අත් ඔරලෝසුව දෙස බැලුවේය. අවසාන තරගයට ඉතිරිව ඇත්තේ පැය කීපයක් පමණි. 'මට සමාවෙන්න. මම දැන් යන්න ඕනෙ. මට හදිසි වැඩ කීපයක් තියෙනවා”
කිමතිලාල්ට තව දුරටත් කරුණු පැහැදිලි කිරීම්වලට සවන් දීමට අවශ්‍ය නොවීය. ධනයට අධිපති දේවතාවියගෙන් වරම් ලැබෙන තුරු බලා සිටිය යුතු නොවේ. 'ඔක්කොම හරි. මම දැන් යන්න ඕනෙ. අපි ආයිත් හමුවෙමු” ඔහුගේ හදවත සතුටින් ඉලිප්පෙයි. කිසිවක් කියාගත නොහැකිව එතැන බලා සිටින ගජනන්රා ඕ පිළිබඳ ඔහු තුළ වූයේ බලවත් කනගාටුවකි. දෙන දෙවියෝ ගෙට ගෙනවිත් දෙනවා යැයි නොපැහැදිලි හඬින් කිමතිලාල් මිමිනුවේය. 'අද ඔබගේ ඇස් තියෙන්නෙ මගෙ හිස්වැස්ම මත. ඔබට වැටහෙන්නෙ නැහැ. එහෙම නේද? ඔබට වැටහෙන්නෙ කෙහොමද? කවද හරි ඔබ ජැක්පොට් දිනන බවට සිහිනයෙන්වත් දැකල තියෙනවද? හහ්....... ඔබ වගෙ මිනිස්සු කවදද ජීවිතය ගැන ඉගෙන ගන්නෙ”
කිමතිලාල් යන්නට ගියේ ගජනන්රා ඕ කාලය සහ ස්වභාව ධර්මයේ නීති ගැන සිතමින් දෙගිඩියාවෙන් පසු වෙද්දීය. 'ජැක්පොට්? මම ඒ ගැන අද කියෙව්ව නේද? ඒක ඉන්දියන් ක්‍රොනිකල් පුවත්පතේ මුල් පිටුවේ ප්‍රවෘත්තියක්. අන්තිම තරග තුනේ ප්‍රතිඵල. අහම්බෙන් සිදු වුණ ඒවා. ජැක්පොට් සල්ලි සේරම ගෙනිහින්. අන්තිම තරගය ගැන අනුමාන කරපු තැනැත්තා රුපියල් කෝටියකට වඩා දිනුම්. ඉන්දියානු තුරග තරග ඉතිහාසයේ කවදාවත් එකවරකට මෙපමණ මුදලක් දිනුවෙ නැහැ.”විශාල තරගයට තව ඇත්තේ පැය හතරක් පමණි.
'කිමතිලාල්” ගජනාන්රා ඕ වහාම පිටතට ගියේය. කිමතිලාල් කොහේවත් පෙනෙන්නට නැත.
ඔහුට හමුවූ පළමු වන කුලී රථයම ඔහු අල්ලා ගත්තේය. 'ඉක්මන් කරන්න. වහාම මාව ඉන්ද්‍රප්‍රසාද් පාරට එක්ක යන්න. වහාම.....මිනිහෙක් මැරෙන්න යනවා.....දිවි නසාගන්න යනවා.... ඔබට තේරුණාද? මෙය ජිවිතයත් මරණයත් අතර හදිස්සියක්. මාර්ග නීති යකාට ගියාවේ. ඉදිරියට යමු”
කිමතිලාල් ශාලාවට දිව ආවේය. සෝපනය හිස්ව තිබිණ. 'මොන තරම් වාසනාවක්ද? මේක සාමාන්‍ය සෝපානයක් නෙවෙයි. මේක රන් ආකාරයක්. අර මදුරාසිකාරයා මෝඩයෙක්. එයා සල්ලිවල වටිනාකම දන්නෙ නැහැ.” වහාම සෝපානය තුළට වැදුණ ඔහු වෙව්ලන දෑතින් බොත්තම් ඔබන්නට පටන් ගත්තේය. ප්‍රථමයෙන් දොර විවෘත කිරීමේ බොත්තම..... ඒ ඉරණම්කාරී දවසේ ඉලක්කම් අනු පිළිවෙල මතක තබා ගැනීමට තරම් මම කොතරම් කල්පනාකාරීද? 13 ... නිමක් නැති අනාගතය ගැන මෝඩයා දොඩවන ප්‍රලාප මොනවාද? 11, අතීතය, වර්තමානය සහ අනාගතය, මේ සියල්ල තීරණය කළේ බොහෝ කලකට පෙර විදතායි (දෙවියන්) සෑම සුළු සිද්ධියක්ම සිද්ධ වෙන්නෙ දෛවය අනුව පමණයි. 7.... ඇත්තටම ලාභ ප්‍රචාර යෝගීන්ගේ බලය ගැනයි පූජ්‍ය අවාද්හුට්ගේ බලය ගැනයි කියන්න ඔහුට ඇති අයිතිය කුමක්ද? 5.... කොහොම වුණත් වාසනාව ගැන අනාගතය දන්නවා කල්වෙලා ඇති වග. ලක්‍ෂමී උපකාර කරන්නෙ ඒ වගෙ මිනිස්සුන්ට විතරයි. 3...... ජැක්පොට්වලින් කෝටියක් ...
ගජනන්රා ඕ පියගැට පෙළින් පැනගෙන ආවේය.
කිමතිලාල් මිය ගොසිනි. ඔහුගේ ශරීරය මස් ගොඩක් ලෙස බිම ගොඩ ගැසී තිබේ. සෝපානය අධික වේගයෙන් ඉහළට ගමන් කර ඇත. සෑම මහලකදීම වේගය වැඩි වුණ බැවින් එය ගොඩනැගිල්ලේ ඉහළ කොන්ක්‍රීට් තට්ටුවේ සිදුරක් ඇති කරමින් පිපිරී ගොසිනි. තත්පර ගණනකින් සෝපානය පෘථිවියෙන් ඉවතට විසි වී ගොස් අනන්ත විශ්වයට ඇතුළු වී තිබේ.
ගජනන්රා ඕ විසින් නිකුත් කළ ප්‍රකාශයේ අවසාන කොටස ඉන්දියන් ක්‍රොනිකල් පුවත්පතේ උපුටා දක්වා තිබිණ.
'සෝපානයට දොස් නගමින් ඒ ගැන කතා කිරීමෙන් සිදුවන යහපතක් නැත. ඒ වෙනුවට කළ යුත්තේ එය දැඩි විද්‍යාත්මක පරීක්‍ෂණයක් සඳහා බාර දීමය. එහෙත් ඊට අකමැති වීමට ඇති ප්‍රථම හේතුව සෝපානයේ ඇති අරුම පුදුම ලක්‍ෂණ හෙළිදරව් වීමයි. මට විශාල ප්‍රසිද්ධියක් ලැබෙන්න පුළුවනි. ඒත් සෝපානය පාවිච්චි කිරීම මට අහිමි වෙනවා. මම එය මගේ පෞද්ගලික දේපලක් ලෙස තබා ගන්න කැමතියි. මම තීරණය කළා සෝපානය විද්‍යාත්මක පරීක්‍ෂණයක් සඳහා පරිත්‍යාග කරන්න. ඒත් එය මහජනතාව සම්පුරණයෙන්ම ප්‍රයෝජනයට ගත් පසුව”
'දෙවන කාරණය සෝපානය අතීතයටයි වර්තමානයටයි ගෙන යන මන:කල්පිත ස්වභාවයන් පිළිබඳ මට යාන්තමින්වත් අනුමාන කිරීමට නොහැකි වීම. හරියටම වානිජ්‍ය භවාන්හි මහල් දෙකක් අතර ගමන් කරනවා වැනි ඉතා මෘදු ලෙස අතීතයටයි වර්තමානයටයි ගමන් කිරීම ඔබට තේරුම් ගත නොහැකි දෙයක් විද්‍යාමාන විට ඔබ ඒ ගැන පරීක්‍ෂා කරන්නේ කෙසේද? මම බොහොම බාල නිගමනයකට එළඹුණා විද්‍යාත්මක පර්යේෂණය නිරර්ථක දෙයක් ලෙස. එපමණක් නොව එය අනතුරුදායක විය හැකියි”
'මගේ මනසේ තියෙන ප්‍රමුඛ අනතුර නම් අනාගතයට යාමට වැරදි නියෝගයක් දීමට ඇති හැකියාව. මම දැනටමත් පැහැදිලි කරල තියෙනවා මම සොක්කෙක් විදියට අතීතයට ගියේ එහි අති විශිෂ්ටභාවය ආරක්‍ෂා කරන්න. එතකොට අනාගතය? එයත් අසහාය දෙයක්ද? සර්වඥයකු හෝ නොදන්නා මැවුම්කරුවකු කලින් කළ සැලසුමක්ද? විද්‍යාවේ තර්කාන්විත බව පසෙකට තබන්න. දෛව ලෝකයේ සිදු වන දේ ගැන න්‍යායවාදීන්ටවත් සොයා ගන්න අමාරුයි. සෑම මොහොතකම කෙනෙක්ව අහඹුවෙන් තෝරා ගන්නවා. ඒ අතර විශ්වය ගමන් කරනවා.”
'දෛවය සහ මැවුම්කරු පිළිබඳ සාම්ප්‍රදායික මිථ්‍යා අදහස්වලින් පීඩා විඳි කිමතිලාල්ට අනාගතයේ පැවැත්ම පිළිබඳ වැටහීමක් තිබුණේ නැහැ. අතීතයෙ සිට වර්තමානයට ගමන් කළ සීමිත පිරිසකට පමණයි කාල සංචාරය කළ හැකිවන්නේ. තවමත් සිදු නොවූ අනාගතයකට ගමන් කිරීම අභ්‍යාවකාශයට ගැලපෙන්නෙ නැහැ. කාලය තමයි යථාර්ථය සමඟ බැඳී තියෙන්නෙ. මෝඩ සහ කෑදර කිමතිලාල් සෝපානය ගමන් කරවූ ආශ්චර්යමත් බලවේග සහ ස්වභාව ධර්මය අතර අර්බුදයට මැදි වුණා. ඔහු ඊට දඬුවම් වින්දෙ ජිවිතයෙන්. මේ නිසා කාලයේ වේගය පිළිබඳ හදාරන්න මනුෂ්‍ය වර්ගයාට තිබුණ එකම අවස්ථාවත් නැතිව ගියා”
අන්තෝනිස් අයියා හැමදා ම උදේ පාන්දරින් පිබිදෙයි. ඉන් පසු ඔහු තුවා ලේන්සුවකින් සුම්බරයක් බැඳගෙන උදැල්ල ද කර තබාගෙන දෙවට පාර දිගේ පල්ලම් බැස වෙල් යාය දෙසට යයි. තමාගේ කුඹුරුවලට ප්‍රමාණවත් තරම් ජලය ලැබී ඇද්ද, කක්කුට්ටන් ආදී සතුන්ගෙන් හානි සිදුවී ඇද්ද, වල් පැල මතුවී ඇද්ද යනාදී කරුණු ගැන හොඳින් සොයා බලන ඔහු, ජලය අඩු වී ඇති නම් ඇළ මාර්ගය ශුද්ධ පවිත්‍ර කොට ජල පාර නිවැරැදි කිරීමටත්, කක්කුට්ටන් හාරා ඇතොත් ඒවා පාගා දැමීමටත්, කඩාඬු කැඩී ඇත්නම් ඒවා පිළිසකර කිරීමටත් වග බලා ගනී. මේ සියල්ල අවසන් කොට දොළට බැස මුහුණ කට සෝදා ගන්නා ඔහු ආපසු නිවසට එන්නේ දෙපැයකට පමණ පසුව ය. ඒ එන විට ඔහුගේ දරුවන් සියලු දෙනා රාජකාරිවලට ගොස් හමාර ය.
දිනක් සුපුරුදු පරිදි උදේ කුඹුරට ගොස් සිය වැඩ කටයුතු නිමා කර ආපසු එන අන්තෝනිස් අයියාට සිය වැඩිමල් සහෝදරයාගේ පුතා වන රත්නපාල අතරමගදී හමු විය.
“බාප්පා වෙල පැත්තට ගියා වගේ.”
“ඔව් මේ කඩාඬුවක් කැඩිලා තිබිලා බැඳලා දැම්මා”
“මාත් මේ බාප්පා හම්බ වෙන්න හැන්දෑකරේ ගෙදර දිහා එන්න කියලයි හිතාගෙන ඉන්නෙ.”
“ඒ මොකටද රත්නපාල?”
“පොඩි කාරණාවක් ගැන කතා කර ගන්න කියලා”
රත්නපාලගේ වචන ඇසූ අන්තෝනිස් අයියාගේ සිත තුළ කුතුහලයක් ඇති විය. නිතර දෙවේලේ අතරමගදී හමුවන රත්නපාලට ගෙදරට ම ඇවිත් කීමට තරම් ඇති විශේෂ කාරණාව කුමක්ද?
“මොකක්ද කාරණාව, දැන් කියන්න බැරි දෙයක් ද?”
“නෑ මම හැන්දෑකරේ ගෙදර ඇවිත් ම කියන්නම්කො.”
අන්තෝනිස් අයියාට එම කාරණාව දැන ගන්නා තුරු ඉස්පාසුවක් නැත.
“ආයෙ මොනවටද කල් දම දමා ඉන්නේ. කියන්න තියෙන දෙයක් දැන්ම ම කියාපන්.”
රත්නපාල මදක් එකෙළ මෙකෙළ ගසන්නට විය.
“කියාපන් රත්නපාල.... මොකද්ද කාරණාව?”
“මං...මේ.... බාප්පගෙන් අහන්න කියලා හිතාගෙන හිටියේ අර දෙණියේ කුඹුරේ බාප්පාට අයිති කොටහ විකුණන්න හෙම හිතේ තියෙනවද කියලා.”
ඒ ඇසූ අන්තෝනිස් අයියා මදක් කල්පනාකාරී විය. දෙණියේ කුඹුර යනු ඔහුගේ පිය පරම්පරාවෙන් පැවත එන කුඹුරකි. එය වගා කෙරෙන්නේ තට්ටු මාරු ක්‍රමයට ය.
අන්තෝනිස් අයියාට සහෝදරයකු හා සහෝදරියන් තිදෙනකු සිටින බැවින් ඔහුට එම කුඹුර වගා කිරීමට ලැබෙන්නේ අවුරුදු පහකට වරකි. එහෙත් සහෝදරියන්ගේ වාර තුන ද රත්නපාල ම අඳේට වැඩ කරන නිසා ඔහුට එහි හතර වාරයක් වගා කිරීමට අවස්ථාව ලැබේ. එබැවින් එම කුඹුර තමන්ට වඩා රත්නපාලට වටිනා එකක් බව අන්තෝනිස් අයියාට රහසක් නොවේ.
“ඇයි රත්නපාල එහෙම ඇහුවෙ?”
“නෑ... මේ... නැන්දලාගේ කොටස් තුන නම් මට ම ගන්න කියලා කීවා. බාප්පාගේ කොටහත් ලැබුණොත් මට කුඹුරෙ සම්පූර්ණ අයිතිය ලැබෙනවානේ. එහෙම උණොත් මට ඒක තව ටිකක් දියුණු කරගන්න පුළුවනි.”
අවුරුදු පහකට වරක් තට්ටු මාරුවට එන හවුල් කුඹුරක් තව දුරටත් තබා ගැනීමට වඩා එය විකුණා මුදල් කර ගැනීම හොඳ යැයි අන්තෝනිස් අයියාට ද නොසිතුණා නොවේ. එහෙත් ප්‍රශ්නය වී තිබුණේ මෙතෙක් ඊට නිසි ගැණුම්කරුවකු ඉදිරිපත් නොවීමයි. රත්නපාල එය මිලට ගැනීමට කැමති නම් එය ඔහුට දීම හැම අතින් ම සුදුසු ය. ඒ ඔහු තම එකම සහෝදරයාගේ පුතා වීම නිසා පමණක් නොව ඔහු ගමේ ඉන්නා ඉතා හොඳ ගොවියකු ද වීම නිසා ය.
“හ්ම්... එහෙම නම් ඉතින් මගේ කොටහත් උඹ ම ගනිං... මටත් දැන් ඕවා තියාගෙන මොනවටද? මොකද අපේ ගෙදර කුඹුරු කරන කෙනෙක් ඉන්නවා කියලා යැ. මගෙන් පස්සේ ඕවා ඔක්කොම පාළුවට යයි.”
“බාප්පා කීයක් බලාපොරොත්තු වෙනවා ද දන්නෙ නෑ.”
“මොනවද බං ඕවාට මට උඹට ගණන් හිලව් කියන්න පුළුවන්ද? ඕවා දෙමවුපියන්ගෙන් හම්බ වෙච්ච දේ නේ. අනිත් අයට දෙන ගණනක් මටත් දියන්...”
“නැන්දලා නම් වී ලාහක් දහ දාහ ගාණේ දෙන්න කිව්වා.”
“හ්ම්... එහෙනම් ඉතින් මටත් ඒ ගාණ ම දියන්”
“ලබන බදාදා නැන්දලාගේ කොටස් ලියලා දෙන්න පොරොන්දු වෙලයි ඉන්නේ.”
“එහෙම නම් මගේ කොටහත් එදාට ම ලියාගන්න බැරියැ”
රත්නපාල අන්තෝනිස් අයියාගේ දරුවන් මෙන් ඉගෙන ගැනීමට දක්ෂකම් නො දැක්වූවත් ගොවිතැන් වැඩට උපන් හපනෙකි. ගොවිතැන යනු හැමට ම කළ හැකි සරල කටයුත්තක් නො වන බව අන්තෝනිස් අයියා දනී. ඒ සඳහා හොඳ ඉවසීමක් හා අත් ගුණයක් තිබිය යුතු ය. රත්නපාලට ඒ සියල්ල හොඳින් පිහිටා ඇත.
මුල් කාලයේ ඔහුගේ බිරිය වන පොඩි නෝනා ගෙදර දොර හා කුඹුරු වතුපිටිවල වැඩ සඳහා ඔහුට උදව් කළ නමුත් මෑතක සිට ඇය ද එවැනි දේ නොකරයි. කුස්සියේ වැඩට වැඩකාර කෙල්ලක් සිටින නිසා දැන් ඇය අතක් පයක් හොල්ලා කිසි ම වැඩක් කරන්නේ නැත.
කුඹුරේ සිට පැමිණ පස්සා දොරෙන් ගෙට ගොඩ වුණ අන්තෝනිස් අයියා කුස්සියේ මේසය උඩ තිබුණ කහට කෝප්පය අතට ගෙන, සීනි ටිකක් ද අල්ලට දමා ගෙන, බංකුව මත වාඩි වූයේ පොඩි නෝනා දෙස ද බලමිනි.
“අද වෙලට ගිහින් එද්දී මට රත්නපාල මගදී හම්බ වුණා.”
“ඉතින්”
“දෙණියේ කුඹුරේ අපේ පංගුව විකුණනවා ද කියලා ඇහුවා. විකුණනවා නම් එයා ඒක ගන්න කැමතිය කියලාත් කීවා.”
“ඉතින් ඔයා මොකද කිව්වෙ?”
“අනික් අයගේ කොටස් තුන දැනටමත් එයාට දෙන්න කැමැති වෙලාලු තියෙන්නේ. ඉතින් මාත් අපේ කොටස එයාට ම ගන්න කියලා කීවා.”
ඒ ඇසූ පොඩි නෝනා දෑස් දල්වා කුහුල් සිතින් ඔහු දෙස බැලුවාය.
“ඔයා මොකොට ද ළමයින්ගෙන් අහන්නේ නැතිව එක පාරට ම හිතු මතේට කුඹුරු විකුණන්න පොරොන්දු උණේ?”
“ළමයින්ගෙන් අහන්නේ මොනවට ද? ඕවා ඔය පරම්පරාවෙන් එන හවුල් කුඹුරු. අපටත් අයිති පහෙන් පංගුවයි. ඕවා පිට විකුණන්න පුළුවන් කුඹුරු නෙවි. අපේ කෙනෙකුටම තමයි දෙන්න වෙන්නේ.”
“ඒ කොයි හැටි වුණත් ඔයා ඉඩ කඩම් විකුණන්න තනියම තීරණය කරපු එක වැරැදියි.”
“ඔහේ කිවුවාට පරම්පරාවෙන් එන දේවල් පිට අයට දෙන එක යුතු නෑ නේ.”
“ඔයාට ඉතින් පරම්පරාවෙ මිනිහෙක් මොනවා හරි කිව්වොත් ඒක ඉස් මුදුනින් විශ්වාසයි.”
“කොයි දේටත් ඉස්සර වෙලා ම පිහිටට ඉන්නේ තමුන්ගේ මිනිස්සු තමා. කවදා හරි මගේ මිණියට කර ගහන්න ඉන්නෙ උන්.”
“හරි දැන් කීයට ද විකුණන්න යන්නේ.”
“වී ලාහට දහ දාහක් දෙනවා කීවා. ඒක තමා දැන් ඔය වාගෙ කුඹුරක ගාණ. අක්කගෙයි නංගිලාගෙයි කොටස් දෙකත් ඒ ගාණටමලු දෙනවැයි කීවේ.”
“රත්නපාල ඔයාට එකක් කියලා අනෙක් අයට දැනට මත් අත යට මුදල් දීලා ඇති.”
“රත්නපාල කවදාවත් එහෙම බොරු කරන්නේ නෑ. අනිත් එක උගෙන් මට කොච්චර උදව් උපකාර තියෙනවාද? යන්තම් මගේ කුඹුරු වැඩ ටික කර ගන්නෙත් ඌට පිං සිද්ද වෙන්න. නැතුව අපේ ළමයි කුඹුරකට බහිනවා කියලායැ.”
“දොස්තරලාට ඉංජිනේරුවන්ට කුඹුරට බහින්න පුළුවන් ද? එහෙම කළොත් යසට තියෙයි. කෝක උණත් මන් ළමයින්ගෙන් අහල බලන කල් ඔයා ඔය කුඹුරු විකුණන්න හදිස්සි වෙන්න එපා.”
“මන් දැන් ඒක රත්නපාලට දෙනවා කියලා පොරොන්දු වෙලා ඉවරයි. ඒක මට වෙනස් කරන්න බෑ.”
අන්තෝනිස් අයියා ගේ තුළට ගියේ තරමක කේන්තියෙනි. ඔහු පොඩි නෝනාගෙන් එවැනි ප්‍රතිචාරයක් කිසිසේත් ම බලාපොරොත්තු වූයේ නැත.
ආරංචිය ඇසූ දරුවෝ ඒ සම්බන්ධයෙන් තම තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්නට වූහ.
පළමුවෙන් සිය මතය ප්‍රකාශ කළේ දොස්තර මහතා ය.
“මම හිතාගෙන ඉන්නේ ඔය තැන් තැන්වල තියෙන අනවශ්‍ය කුඹුරු වතු පිටි ටික විකුණලා දාලා ටවුම කිට්ටුවෙන් හොඳ ඉඩම් කෑල්ලක් අරගෙන ගෙයක් හදන්න කියලා. ඒ හින්දා හදිස්සි වෙලා කුණු කොල්ලෙට ඉඩම් විකුණන එක අපට පාඩුයි.”
ඊළඟට ප්‍රාදේශීය ලේකම්වරිය කතා කළා ය.
“කොහොමටත් අයිතිකාරයා වගා කරන කුඹුරුවල මිල වැඩියි. ගොඩ කරන්න අවසරය ලබා ගත්තාම කුඹුරු උණත් ලොකු ගණනකට විකුණන්න පුළුවනි. මට ලේසියෙන් ගොඩ කිරීමේ අවසරය අරන් දෙන්න පුළුවනි. දවසකට මම ගොඩ කිරීමේ අවසර පත්‍ර කීයක් අනුමත කරනවාද?”
අනතුරුව ඉංජිනේරුවා තවත් අදහසක් ඉදිරිපත් කළේ ය.
“ළඟදි ඔය වෙල් යාය හරහට ඉරිගේෂන් ඇළ මාර්ගයක් ඉදි කරන්න යෝජනා වෙලයි තියෙන්නේ. එහෙම වුණොත් ඉදිරියේදී ඔය කුඹුරුවල වටිනාකම ගොඩක් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා දැන් ම ඔය කුඹුරු විකුණන්න හදිස්සි වෙන්න ඕනෑ නෑ.”
අන්තෝනිස් අයියගේ පැත්තට යමක් කීවේ පොඩි දුව පමණි.
“තාත්තා දැන් රත්නපාල අයියාට ඔය කුඹුර දෙන්න පොරොන්දු වෙලා තියෙනවා නම් ඒක වෙනස් කරන එක හොඳ නෑ. තාත්තාගේ වැඩ තාත්තාට ඕනෑ හැටියට කරගන්න දෙන එකයි හොඳ”
ඒ ඇසූ පොඩි නෝනා වහා ඈ වෙත කඩා පැන්නාය.
“පොඩ්ඩි උඹ කට පියාන හිටපන්. උඹ මේවට කට දාන්න ඕනෑ නෑ.”
පොඩි දුව කවදත් අන්තෝනිස් අයියාට ආදරේය. විශ්ව විද්‍යාලයේ කලා උපාධියක් හදාරණ ඇය ජීවිතය දෙස අපිස් ලෙස බලන්නියකි. සිය පියාගේ උදාර ජීවන පුරුෂාර්ථ කෙරෙහි ඇය තුළ ඇත්තේ මහත් භක්තියකි. ගෙදර සිටින අනෙක් අයගේ ඕළාරික ඇවතුම් පැවතුම් ඇය නුරුස්සයි.
“පොඩි පුතේ (දුවක වුව ද ඔහු ඇය අමතන්නේ පුතා කියාය) මම දැන් රත්නපාලට ඔය කුඹුර දෙන්න පොරොන්දු වෙලා ඉවරයි. අනෙක් අයගේ කොටසුත් දැන් රත්නපාලට ම දෙන්න පොරොන්දු වෙලයි තියෙන්නේ. ලබන බදාදා ඔප්පු ලියනවා ය කිව්වා. මං දැන් කොහොමද ඒ මිනිහාට මූණ දෙන්නේ?”
“තාත්තා ඕකට හිත කලබල කරගන්න එපා. මම පස්සේ අයියලා අක්කලා එක්ක ඔය ගැන කතා කරලා බලන්නම්කො. තාත්තා දැන් තේ එක බොන්න” එසේ පැවසූ පොඩි දුව ගෙතුළට ගියා ය. පොරොන්දු වූ පරිදි එදින සවස පොඩි දුව තාත්තාගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අම්මාගේ හිත වෙනස් කරන්නට උත්සාහ කළා ය.
“මොනව ද අම්මේ තාත්තාගේ හිත රිද්දන්නේ. ඔය ඉඩකඩම් අයිති තාත්තාට. ඒ හින්දා ඒවා ගැන එයාට ඕනෑ හැටියට තීරණයක් ගන්න ඉඩ දුන්නා නම් ඉවරයි නේ.”
“එහෙම කොහොමද? රත්නපාල දැනට මත් ඔය මනුස්සයා රවට්ටලයි ඇත්තේ. උඹලාගේ නැන්දලාගේ හැටි මං නොදන්නවා කියලාද? රත්නපාල ඒ ගොල්ලන්ට අත යට මුදල් දීල ඇති.
“රත්නපාල අයියා එහෙම කරන්නේ නෑ.”
“උඹ දන්න කෙහෙල් මල. උඹත් ඉතින් තාත්තාගේ ම දුවනේ.” කුඹුර විකිණීම සම්බන්ධයෙන් ගෙදර අයගෙන් තීරණයක් ලැබේ යැයි අන්තෝනිස් අයියා දින දෙකක් බලාපොරොත්තුවෙන් සිටි නමුත් ඔවුන්ගෙන් ඊට කිසි ම ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් නැවත වරක් අඟහරුවාදා රාත්‍රියේ ඔහු පොඩි දුව සමඟ ඒ ගැන කතා කෙළේ ය. ඉස්තෝප්පුවේ ඇඳෙහි නිදා ගන්නා ඔහුට හැමදාම රාත්‍රියට බීමට වතුර වීදුරුවක් ගෙනවුත් දෙන්නේ පොඩි දුවයි. එදින වතුර වීදුරුව මේසය මත තැබූ ඇය තාත්තාගේ ඇඳෙහි කෙළවරක වාඩි වී ඔහු දෙස සෙනෙහසින් යුතුව බැලුවා ය.
“පොඩ්ඩියෙ අර ඔප්පු ලියවිල්ල තියෙන්නේ හෙට. මොකද අයියලා අක්කලා ඒ ගැන කිව්වේ?"
“ඒ අය නම් කිව්ව දෙයක් නෑ. ඒ ගොල්ලන්ට දැන් ඒක මතකත් නෑ. මම අම්මා එක්ක ඔය ගැන කතා කළා. ඒත් අම්මව නම් වෙනස් කරන්න අමාරුයි. තාත්තා දැන් ඔය ගැන කල්පනා කරන්නේ නැතිව නිදා ගන්න. තාත්තාට ඕන්නම් පස්සෙ දවසක වුණත් ඕක රත්නපාල අයියාට ලියලා දෙන්න පුළුවන්නේ.”
“ඒක නම් එහෙම තමා. ඒත් මං නිකම් බොරු කාරයෙක් උණ එක ගැනයි මට කණගාටු.”
ඒ බදාදා දිනයයි. එනම් ඔප්පු ලිවීමට නියමිත දිනයයි. රත්නපාලට දීම සඳහා කිසිදු සාධාරණ පිළිතුරක් ඔහුගේ සිහියට එන්නේ නැත. තමා මහා බොරු කාරයෙක් වී ඇතුවා නොවේ ද? මුළු ජීවිත කාලය තුළ ම මෙවන් තත්ත්වයකට ඔහු කිසි දිනක මුහුණදී නැත.
එසේ සිතන විට ඔහුගේ ශරීරයෙන් මහත් දාහයක් පිට වන්නට විය. ඒ සමඟ ම ඔහුගේ පපුව දෙසින් මහත් වේදනාවක් ඇති වූයේ ය. මොහොතකින් දෙ ගුණ තෙ ගුණ වූ එම වේදනාව සමඟ ම පපුව දඬු අඬුවකින් හිර කරන්නා මෙන් ඔහුට දැනුණි. ඔහු වතුර ටිකක් බීමට සිතා අත ඔසවා මේසය මත වූ වතුර වීදුරුව ගන්නට උත්සාහ කළත් එය කළ හැකි නොවී ය. අනතුරුව ඔහු ‘පොඩ්ඩී’ යයි උස් හඬින් කතා කළත් ඔහුගේ මුවින් කිසිදු වචනයක් පිට වූයේ නැත. දහස් ගණනක් කළා මැදිරි එළි ඇස් ඉදිරියේ පාවී යන්නාක් මෙන් ඔහුට දැනිණ. ඔහු දෑස් තද කර පියා ගත්තේ ය.
උදේ පොඩි නෝනා දොර හැරගෙන එළියට අවුත් අන්තෝනිස් අයියාගේ ඇඳ දෙස බැලුවේ ඔහු කුඹුර වෙත ගොස් ඇද්දැයි දැන ගැනීමටයි. වෙනදා පාන්දර නැගිටින ඔහු දවල් වනතුරුත් ඇඳේ වැතිරී සිටිනු දුටු පොඩි නෝනා ඔහු අසලට පැමිණ කතා කළා ය.
“ඒයි... මේ ඇහුණ ද?”
එහෙත් අන්තෝනිස් අයියාගෙන් කිසි ම පිළිතුරක් නො ලැබුණි. ඔහුගේ නිශ්චල බව පොඩි නෝනාට සිතා ගත නොහැකි විය. ඇය ඔහුගේ ඇඟට අත තබා බැලුවා ය. එය සිසිල් දිය කඳක් මෙන් ශීතල වී තිබුණි. ඇයට මහත් බියක් දැනිණ. අන්තෝනිස් අයියාගේ සිරුරෙන් ප්‍රාණය නිරුද්ධ වී තිබුණි.
මා නිවසට ඇතුළුවන විටම මගේ හදවත සලිත විය. මගේ බිරිඳ සේවය අවසන්ව නිවසට පැමිණ සිටියාය. එහෙත් ඇය වෙනදා මෙන් නිවස පවිත‍්‍ර කිරීමේ සහ රාති‍්‍ර ආහාරය පිළියෙල කිරීමේ යෙදෙනු වෙනුවට සිගරැට්ටුවක් දල්වාගෙන ඇඳ මතට වී සිටියාය. ඇගේ මුහුණ සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා දෙඅඟලකින් පිම්බි තිබේ.ඉක්මන් ගමනින් ඇවිදගෙන ආව ජනාදරී ඉස්‌ටේෂමේ ලෑලි බංකුවෙ වාඩි වුණා. ගමන් බෑගය බැංකුවේ පැත්තකින් තියලා ඇඟට හේත්තු කරගෙන පපුව පිරෙන්න හුස්‌මක් ගත්තා.
ඉර මුදුන් වෙන්න හෝරාවකට දෙකකට වැඩිය නැති හින්ද ස්‌ටේෂමේ ඒ තරම් සෙනඟක් ගැවසුනේ නෑ. ජනාදරීගේ ඇස් කෙළින්ම ඉදිරිපස වේදිකාවේ බංකුවක වාඩිවෙලා හිටිය පෙම් යුවළක් දෙස යොමු වුණා. ඔවුන්ගේ කතාබහ ඇයට නෑසුණත් යමකට වාද කරනවා වගේ පෙනුණා. ස්‌වීප් විකුණන කොලුවෙක් කඩිසර කමකින් තොරව ජනාදරීගේ ඇස් ඉදිරිපසින් දෙතුන් සැරයක් එහාට මෙහාට ගියා. රේල් පාරට කවුදෝ වීසි කරපු මාළු බනිස් ගෙඩියට ඉව අල්ලපු නාටු බැල්ල බනිස් ගෙඩියට කට ගහන්නත් ඉස්‌සර දුවගෙන ආව හුරුබුහුටි බලු පැටව් දෙන්නා බනිස් ගෙඩියට පොරකන්න පටන් ගත්තා. බැල්ල දරුවන්ට ගොදුර දීලා පැත්තකට වෙනවා දැක්‌ක ජනාදරීගේ මුවට මදහසක් නැඟුණා.
නිසංසලව හිටපු කාලය අතරතුර බොරදිය බාවෙනවා වගේ ජනාදරීගේ සිතිවිලි ටිකෙන් ටික බාවෙන්න පටන් ගත්තා. හිතින් චාරුණීගෙ ගෙදරට ගිහිල්ලා දොරවල් ටික ඔක්‌කොම යතුරු දාලද කියලා බැලුවා. ඔව්... ඔක්‌කොම... ඔක්‌කොම හරි... ඇය තහවුරු කරගත්තා.
"මං කරපු වැඩේ හරිද?..." ඊට පස්‌සෙ ජනාදරීට හිතුණා. "දැන් පොඩි එවුන් දෙන්න ඇවිල්ලා ආච්චි... ආච්චී... කිය කියා හැම තැනම හොයයි... එතකොට මං තියලා ආව තුණ්‌ඩු කෑල්ල ඇහැ ගැහෙන්නෙ නැතැයි... මටත් හැමදාම හිරේ විලංගුවේ වැටිලා ඉන්න පුළුවනෑ...? චාරුණී වුණත් දැනගන්න ඕනෑ මටත් ඉවසන්න පුළුවන් සීමාවක් තියෙන බව..."
ජනාදරී තමන්ටම කියා ගත්තා.
"අම්මෙ හෙට උදේට උයන්නෙ බෝංචියි, කංකුන් මැල්ලුමයි... අල හොද්දයි හොඳේ..." කියලා චාරුණී කිව්වොත් ජනාදරී දන්නවා පහුවදා උදෙන්ම නැගිටලා උයන්න ඕන කියලා. "අම්මෙ හෙට උදේට චූටි දූගෙ ස්‌වීම් ප්‍රැක්‌ටිස් තියෙනවා" කියලා කිව්වොත් ජනාදරී තේරුම් ගන්න ඕනෑ නිවාඩු දවස කියලා බලන්නෙ නැතුව පාන්දර නැඟිටලා දූගේ අඩුමකුඩුම ලෑස්‌ති කරලා දෙන්න ඕනෑ කියලා. "අම්මෙ රෙදි ටික නම් වේලිලා වගේ නේද?" කියල කිව්වම ජනාදරී දන්නවා වේලිච්ච රෙදි ටික ගෙට අරගෙන නවල, වෙන් කරලා ඒ ඒ කෙනාගෙ කාමරෙන් ගිහින් තියන්න ඕනෑ කියලා. "අද නම් හරිම මහන්සියි අම්මෙ.." කියාගෙන චාරුණී ගෙට ගොඩවුණ දවසට චාරුණීගේ තේ එකත් කාමරේට යන්නෙ ජනාදරීගෙ අතින්. ඊට පස්‌සෙ කුස්‌සිය අස්‌පස් කරන එක, පහුවදාට උයන පිහන දේවල් ලෑස්‌ති කරන එක ආදී වශයෙන් ඔක්‌කොම කෙරෙන්නේ ජනාදරීගේ අතින්.
හැට හැත්තෑවකින් වැඩ ගන්න චාරුණීට අම්මගෙන් කියල වෙනසක් නෑ.
පෙළක් දවසට එහෙම වැඩ කරලත් හොඳක් නෑ. හොද්දකට ලුණු පොඩ්ඩක් වැඩි වුණොත් කියන්නෙ, "අම්මලා හරියට පුරුදු වෙන්න උයනවා වගේනෙ..." කියලා. හදිසියෙවත් බත බෙරි වුණොත් බතට වැඩිය මූණ බෙරිවෙන චාරුණී අම්මා දිහා බලන්නෙ මිනිහෙක් මරපු ගානට. මිදුල අතුගාල ඉදල කොස්‌ගහට හේත්තු කරලා ආව වෙලාවෙ... "මේ ගෙදර මිනිස්‌සුන්ට මගේ අත් දෙක නැතුව කිසි දෙයක් හරියට කරන්න බෑනේ..." කියලා කෑ ගැහුවෙ පඩි ගෙවලා තියාගන්න වැඩකාරියකට වගේ.
ජනාදරී මේ අභිනිෂ්ක්‍රමණයට හිත හදාගත්තේ මාස ගාණක් තිස්‌සෙ කල්පනා කරලා. මාස ගාණක් පුරා එකතු වුණ පුංචි පුංචි කුණු අනිත්මට ජනාදරීගේ හිතේ කුණු කන්දක් ගොඩ ගැහුවා.
පාන්දර හතරෙ පහේ ඉඳලා රෑ දහය එකොළහ වෙනකල් මේ ගෙදර තිබුණ ඝෝෂාව ජනාදරී දරාගත්තෙ බොහොම අමාරුවෙන්. වැඩපළවලින් හෙම්බත් වෙච්ච වෙලාවට වත් ඩිංගක් ඇලවෙලා ඉන්න පුළුවන් කාමරයක් ජනාදරීට නෑ.
වැඩ කරගෙන අරගෙන යල් පැනපු බඩු මුට්‌ටුත් ඔක්‌කොම ගෙනැත් ගොඩ ගහන්නෙ ජනාදරීගේ කාමරේ. පිස්‌සන් කොටුවක් වගේ අවුල් වෙච්ච ඒ කාමරේ තියෙන ඇඳේ රෑකට ඇරෙන්න අනිත් වෙලාවට නිදාගන්න පණ තියෙන මනුස්‌සයෙකුට බෑ. රෑකට කියලා දොට්‌ට පිලකටවත් යන්න ඉඩක් නෑ. රෑ නවය වෙනකොට ගෙයි දෙපැත්තෙ දොරවල් දෙකම ලොක් කරලා අරෝෂ යතුර අත්අඩංගුවට ගන්නවා. ඊට පස්‌සෙ ජනාදරී නිවාස අඩස්‌සියේ. ඒ ගෙදර අනිත් අය වගේ ගේ ඇතුළෙ තියෙන වැසිකිළිවලට යනවට වැඩිය ජනාදරී කැමතියි එළිවෙනකම්ම ඒ අමාරුව හිරකරගෙන ඉන්න.
"අම්ම හැමදාම ලොකු නංගිලාගෙ දිහාටම වෙලා ඉන්නද කල්පනාව? අම්ම ලොකු නංගිගෙ විතරක් නෙමෙයි අනිත් දෙන්නගෙත් අම්මා කියන එක අමතක වුණාද? මහ ගෙදර පාළුවට ගිහිල්ලා. ගහකොළ සතා සීපාවා විනාස කරනවා. අම්ම නැතුව අපිටත් මහ ගෙදර පැත්තෙ යන්න හිතෙන්නෙ නෑ. මේ පාර කඨින පිංකමට වත් ඉස්‌කෝලෙ හාමිනේ එන්නෙ නැද්ද? කිsයලා ලොකු හාමුදුරුවොත් ඇහුවා...." ලොකු පුතා ඊයෙත් කතා කරලා දොස් කිව්වා.
හූ කියාගෙන ආව කෝච්චියක් ස්‌ටේෂමේ නවත්තන්න වගේ වේගය බාල කරලා ඒ වේගෙන්ම ස්‌ටේෂම පහුකරලා ගියා. ඒ එක්‌කම අනිත් පැත්තෙන් බෑඟිරි ගාගෙන ආව කෝච්චිය එහා පැත්තෙ වේදිකාවේ නැවැත්තුවේ මරණාසන්න ලෙඩෙක් වගේ කෙඳිරි ගාමින්. මද්දහන් වෙලාවට කිට්‌ටු නිසා බහින්නවත් නඟින්නවත් ඒ හැටි සෙනඟක් හිටියේ නෑ.
වැදගත් පෙනුමක් ඇති වයසක ජෝඩුවක් නතර කරපු දුම්රියෙන් බැහැලා කෝච්චි පාර පැනල මේ පැත්තට ගොඩවුණා. දෙන්නගෙම අතේ තරමක ගමන් බෑගය බැගින් තිබුණ නිසා ජනාදරීගෙ අවධානය ඒ දෙන්නා වෙත යොමු වුණේ ඉබේටම.
ජනාදරී කාන්තාව දිහා බලලා හිතවත් ලෙස හිනා වුණා. ඒ හිනාවෙන් දිරිමත් වෙච්ච කාන්තාව ජනාදරි ළඟටම ආවා. ජනාදරී ඇයට "වාඩිවෙන්න" කියන්න වගේ බංකුවෙ තිබුණ බෑගය ඔඩොක්‌කුවට අරගෙන බංකුවෙ කෙළවරට වුණා.
ඉස්‌සරවෙලා නෝනාත්, ඊළඟට මහත්තයත් ජනාදරී වාඩිවෙලා හිටිය බංකුවේ වාඩි වුණා.
"දුර ගමනක් යන්න වගේ..." ඉස්‌සරවෙලාම කතා කළේ ආගන්තුක කාන්තාව.
"ඔව්.. මං මේ ගමේ යන්න කියලා. බදුලු කෝච්චිය අල්ල ගන්න ඉන්නෙ..." ජනාදරී උත්තර දුන්න.
"එහෙම නම් අපිට එකටම යන්න පුළුවන්. අපිත් මේ ගමේ යන්න කියලා. අපි නුවර..." ආගන්තුක කාන්තාව පිළිතුරු දුන්නා.
තවත් කෝච්චියක් ළඟ ළඟම එන බව අඟවන සීනු හඬ නොනවත්වාම නාද දෙන්න පටන් ගත්තා. ඡේත්තුවට ඇඳගත්ත මැදිවියේ කාන්තාවක් අසුනින් නැගිටලා ඉදිරියට ගියා. ඇඳුම - පැළඳුම, ගමන - බිමන චාරුණීගේ වගේ. "හෙට ඉඳල චාරුණීට මොනව වෙයිද? අරෝෂ චාරුණී මරලවත් දායිද?...." ජනාදරීගේ හිත ඇතුළෙ නිදාගෙන හිටිය අම්මා ආයෙමත් අවදිවෙලා කන්කෙඳිරි ගාන්න පටන් ගත්තා.
"අන්න දඩාවතේ ගිහින් එන වෙලාව. වල්කමේ ගියපු තැනක නවතින්න තිබුණනේ. මොන එකකට ආපහු ආවද? අරින්නෙ නෑ කිසි කෙනෙක් ගේට්‌ටුව... හිටපුදෙන් ගේට්‌ටුවෙන් එළියෙ.." චාරුණී අධ්‍යක්‍ෂ මණ්‌ඩල රැස්‌වීම තිබුණ දවසෙ රෑ වෙලා ගෙදර ආවම අරෝෂ ගේට්‌ටුව වහ ගත්තෙ එහෙමයි. එදා ජනාදරීට ඉලංදාරි හත්අට දෙනෙක්‌ගෙ හයිය හත්තිය ආවෙ දරු කැක්‌කුමට. අරෝෂගේ අතේ තිබුණ යතුරු කැරැල්ල උදුරගෙන ජනාදරී ගේට්‌ටුව ඇරියෙ නැත්නම් ඇත්තටම එදා චාරුණීට ඉන්න වෙන්නෙ ගේට්‌ටුවෙන් එළියෙ.
"ටේ්‍රනින්... ටේ්‍රනින්.. කිය කියා කොහෙ යනවද කවුද දන්නෙ...? ඉන්නෙ නම් පත්තිනි අම්මා වගේ... දඩාවතේ ඇවිදලා ගෙදර එන්නෙ රෑට රෑ වෙලා. කෙල්ලො දෙන්නෙක් ඉන්න අම්ම කෙනෙක් කියලා ගාණක්‌වත් තියෙනවද? කවද හරි දවසක මේ කෙල්ලො දෙන්නා පාරෙ බැහැල යන්නෙ කොහොමද? උඹලට කටක් ඇරල කියන්න පුළුවන් ද අර යන්නෙ අපෙ අම්මා කියලා... චාරුණී දවස් තුනක නේවාසික පුහුණුවකට පිට ඉඳලා ආව වෙලාවෙ අරෝෂ කඩාපැන්නෙ ගෝත්‍රික ලක්‍ෂණ ඉස්‌මතු වෙද්දි...
ඒ වෙලාවෙ ජනාදරී චාරුණීගෙ පැත්තට කතා කරනකොට අරෝෂ කීවෙ "ගහේ කටු උල් කරන්න ඕනෑ නෑනේ... තමුන්ගෙ තරමත් මං හොඳට දන්නවා.. ආව අතක් බලාගෙන ගියානම් නරකද? කියලා.
එදා ජනාදරී යන්න ලෑස්‌ති වෙනකොට චාරුණී කිව්වෙ... "අම්මා දැන් ගියොත් මේ ගෙදර මම තනි වෙනවා... මට කියලා කවුද ඉන්නෙ... තාත්තලා දූලා එක පැත්තක්..." චාරුණී ජනාදරී වැළැක්‌කුවේ අඬා වැටෙමින්.
"අම්මා කෙනෙක්‌ගෙ අගේ දැනගන්න තමුසෙ අම්මෙක්‌ගෙන් කිරි බීලා තියෙන්න එපායෑ... ඉපදිලා දවස් ගාණකින් අම්මා මැරිච්ච මිනිහ හරක් කිරි බීලා උස්‌මහත් වුණාමත් හරකෙක් වගේ තමයි හිතන්නෙ... තමන්ගෙ වැරදි වහගන්න අනිත් මිනිස්‌සුන්ට අපහාස කරලා වැඩක් නෑ..." එදා හොඳටම හිත රිදිච්ච චාරුණී කිව්වෙ එහෙමයි.
චාරුණීගෙයි අරෝෂගෙයි අඹු-සැමි සම්බන්ධතාව අන්තිම දුර්වලයි. ඒ ගැන ව්‍යංගයෙන් හරි කියන කොට චාරුණී අහන්නෙ "මටයි මගේ පවුලටයි මෙච්චර අපහාස කරන මිනිහෙකුට ඒ වැඩේට විතරක් තුරුල් වෙන්න පුළුවන් ද? කියලා. ඒත් ජනාදරී දන්නවා ඒකට හේතුව වෙන එකක් කියලා. චූටි දුව පුංචි කාලෙ අත්උදව්වට හිටපු කෙල්ලට දරුවෙක් ලැබෙන්න හිටපු බව දැනගත්ත දා ඉඳලා චාරුණී නිදාගත්තෙ වෙනම කාමරේක.
"එහෙනම් ඔය හැටි කා කොටා ගන්නෙ නැතුව වෙන් වුණා නම් දෙන්නටම හොඳයිනේ..." කියලා ජනාදරී කිව්වා.
"ඒකට ළමයි කැමැති නෑ. ඒ ගොල්ලො ඔය යන ඉහළ පැලැන්තියේ ඉස්‌කෝලවල අම්ම තාත්ත දික්‌කසාද වුණ ළමයකුට පිළිගැනීමක් නෑ. ගේ අස්‌සෙ මිනීමරා ගත්තත් මිනිහෙක්, තාත්තෙක් ඉන්නවා නම් ගෑනියෙකුට දරුවන්ට රැකවරණයක් තියෙනවා. අනිත් එක හෙට අනිද්ද දීග දෙන්න ඉන්න කෙල්ලො දෙන්නෙක්‌ගෙ බර මං තනියම කර ගහන්නෙ මොකටද? මොකෝ මං එනකොට අරන් ආපු අයයෑ.." කියලා චාරුණී උත්තර දුන්නා. ඕවගේ අග- මුල හොයන්න ගියාම ජනාදරීට ජීවිතේම පැටලෙනවා. වෙලාවකට තොල කට පුපුරන්න චාරුණී ගුටිකනවා... ඒත් අරෝෂට වචනවලින් දමල ගහන එක නම් නවත්තන්නෙ නෑ.
ජනාදරී රණ්‌ඩුවලට මැදිහත් නොවුණත්, රණ්‌ඩු වෙන වෙලාවට පේන්න හරි ඉන්නවා නම් අරෝෂගේ සැර ටිකක් බාල වෙනවා... "මං ගියාම චාරුණී අසරණ වෙයි.." ජනාදරීට හිතුණා.
"එහෙමයි කියලා ආයෙම අර හිර ගෙදරට යන්නද හදන්නේ..." ජනාදරීගෙ හිත ඇගෙන් ඇහුවා.
ජනාදරීත් එක්‌ක බංකුවෙ වාඩිවෙලා හිටිය ආගන්තුක කාන්තාවගේ අත් බෑගයෙ තිබුණ ජංගම දුරකථනය නාද වුණා. ඇය කලබලයෙන් අත්බෑගයේ ඒ පැත්ත මේ පැත්ත අවුස්‌ස අවුස්‌ස දුරකථනය සෙව්වා. ස්‌වාමිපුරුෂයා නොපහන් දැසීන් බලා හිටියා. අන්තිමට දුරකථනය නිහඬ වුණා.
ඊළඟ වතාවෙ ආයෙමත් දුරකථනය නාද වුණා. ඒ පාර නම් ඇය එය සොයා ගත්තා.
"ඔව්.. ස්‌ටේෂන් එකේ... නෑ... තාම ආවෙ නෑ.. තව වෙලා ඇති මගේ හිතේ... ගොඩක් අඬනවද?.. කෑම කෑවෙත් නැද්ද? කොහොම හරි රවට ගන්න බලන්න.. එහෙම කොහොමද? තාත්තා කැමති වෙන එකක් නෑ.. මං කියලා බලන්නම්... තාත්තා හුඟක් බලාපොරොත්තුවෙන් හිටියෙ ගෙදර යන්න... හ්ම්... බලමුකෝ... මං කියලා බලන්නම්...
කාන්තාවගේ ප්‍රබෝධමත් වත පරවෙලා ගියා. ඊළඟට ඇය ඇගේ ස්‌වාමිපුරුෂයා දෙසට හැරුණා. ඔහු දුරකථන සංවාදය නෑසුණා වගේ ඈත බලාගෙන හිටියා. බිරිඳ ඉවසිල්ලෙන් වචන තෝරා බේරාගෙන කතා කළා.
"චූටි දුව කතා කළේ." ඔහු ඇයි කියලා වත් ඇහුවෙ නෑ.. "ලොකු පුතා හොඳටෝම අඬනවලු... මොන විදියකට වත් නළවා ගන්න බැහැයි කියන්නෙ... ආච්චියි සීයයි කෝ කිය කියා ගේ පුරාම හොයනවලු... අපිට ආපිට එන්න කියලා චූටි පිංසේණ්‌ඩු වෙනවා..." සැමියා උත්තර දෙන්න හදිස්‌සි වුණේ නෑ... නොරිස්‌සුම් සහගතව නිහඬවම හිටියා...
"නෝනගේ මොළේ නරක් වේගෙන එනවද? ආපිට යන්න ආයෙමත්... ලියලා දීපු ඉඩම්වල දිග පළල හොයන්න යන්නෙ මොන කෙහෙම්මලකට ද නෝනා... මෙච්චර හරියක් කළා මදිද?" ස්‌වාමිපුරුෂයා උත්තර දුන්නෙ තරහින්.
"එහෙම කියන්න එපා මහත්තයා... ඒ අපේ දරුවනේ... දෙමවුපියෝ විදියට අපි මීට වැඩිය දරුවො ගැන හිතන්න ඕනෑ... අපෙනුත් අතපසු වීම් ඕනෑ තරම් සිද්ධ වුණානේ... දෙමව්පියෝ නැත්නම් කවුද දරුවෙකුට පිහිට වෙන්නෙ...?
"නෝනා කියන්නෙ ආයෙමත් සැරයක් විහින් නිවාස අඩස්‌සියට වැටෙමුය කියලද? වැඩකාරයෝ කී දෙනෙක් නම් හොයල දුන්නද? අර අම්මණ්‌ඩිත් එක්‌ක ඒ එකෙක්‌වත් තියාගන්න පුළුවන් වුණාද? කෑම බීම ගානට මිම්මට... වැඩ කළත් වැරදියි... නොකළත් වැරදියි... ඉඳගත්තත් වැරදියි... හිට ගත්තත් වැරදියි... කොහොම ඉහ ගහන්නද මන්දා..."
"තිමිර ළමයගෙ අම්මගෙ උපන් ගෙයි ගති අපිට වෙනස් කරන්න පුළුවන් ද මහත්තයා...? චූටි අපේ දරුවනේ. චූටි රස්‌සාවෙන් අස්‌වෙන්ඩ හදපු වෙලාවෙත් මහත්තයා නේද එපාම කියල බල කළේ...?"
"දරුවො ලොකු මහත් කරලා විශ්වවිද්‍යාලවල යවල උගන්වලා, ඉගෙන ගත්ත දෙයින් ඵල ප්‍රයෝජනයක් වෙන්න ඕන නිසා මං එහෙම කිව්වා තමයි. ඒත් අපිට පුළුවන්ද හැමදාමත් දරුවන්ගෙ දරුවො බලාගන්න...?"
"අනේ මං දන්නෙ නෑ... මට මහත්තයා තනියම දාලා චූටිලගෙ ගෙදර යන්නත් බෑ. අර දරුවෝ දෙන්නත් එක්‌ක චූටි විඳින දුක දැක්‌කම ඇස්‌කන් පියාගෙන ඉන්නත් බෑ. අපේ දෙමවුපියන්ට පින් සිද්ධ වෙන්න මාත් ඒ දවස්‌වල දරුවො දෙන්න ලොකු මහත්කර ගත්ත... මහත්තයට කියල බැංකුවෙන් තොර ලෝකයක් තිබුණැයි...?"
බිරිඳගේ නෝක්‌කාඩුවත් එක්‌ක ස්‌වාමිපුරුෂයා නිරුත්තර වුණා. ජනාදරී ඒ දෙන්නගේ කතාව නෑසුන ගාණට ඈත බලාගෙන හිටියා.
"මං හිතාගෙන හිටියෙ පෙන්ෂන් ගියාට පස්‌සෙවත් ටිකක් නිවී සැනසිල්ලෙ ඉන්න පුළුවන් වෙයි කියලා... අපි බැංකුවල වැඩ කළේ යන්තර වගේ... ඒ කාලෙ අත ඇරිච්ච යාළු මිත්‍රකම් අලුත් කරගන්න, පොතක් පතක් කියවාගන්න පිනක් දහමක් කරගන්න මං කොච්චර බලාපොරොත්තු තියාගෙන හිටියද?" ස්‌වාමි පුරුෂයා නැවතත් කටහඬ අවදි කළා...
"මං වුණත් එහෙම තමයි මහත්තයා... අහල පහල ඉන්න මගේ වයසේ අනිත් බවලත්තු ඔක්‌කොම පෝයටවත් සිල් ගන්නවා. මට ඒකටවත් ඉඩක් තියෙනවද?... මගේ මේ ඇහේ පෙනීම අඩුයි කියලා මං කියන්නෙ කොච්චර කාලෙක ඉඳලද?... කෝ ඒකවත් පෙන්නගන්න වෙලාවක් තියෙනවද?..."
"ඒ ඔක්‌කොම ඉවසන්න පුළුවන්. අඩුම තරමේ අපට ඕන වෙලාවකට තේ එකක් බොන්න, අපිට ඕන කෑමක් බීමක් හදාගෙන කන්න... එහෙම නැත්නම් අපි දෙන්නට නිදහසේ ටිකක් කතා කර කර ඉන්නවත් වෙලාවක් තියෙනවද නෝනා...?"
"ඒක නම් එහෙම තමයි... ඒත් චූටි, ලොකු දුව වගේ නෙමෙයි.. චූටි දුවට ලොකු දුවට තරම් ඉවසීමක්‌වත්, සන්සුන්කමක්‌වත් නෑ. පොඩ්ඩ එහෙ මෙහෙ වෙන්න බෑ. තිමිර ළමයටත් කඩා පනිනවා.. අපි නොගියොත් රස්‌සාව දාල ගෙදර නතර වෙයිද දන්නෙ නෑ..."
ස්‌වාමි පුරුෂයා නිහඬ වුණා... "ලොකු දූ මතක් වෙන්න ඇති..." බිරිඳ හිතුවා. "ලොකු දුවගෙන් චූටි දුවගෙන් තරම් කරදරයක් නෑ... නැන්ද මාම රත්තරන් මිනිස්‌සු.. බැඳපු ඉලන්දාරියා වුණත් කියන්න තරම් වැරැද්දක් නෑ..." ඇයට හිතුණා.
වචන අහවර වුණා වගේ ආයෙමත් දෙන්න නිහඬ වුණා. ජනාදරී පිටතට නොපෙනෙන්න තමන්ගෙ හිතත් එක්‌ක ලොකු ගාලගෝට්‌ටියක් කළා.
සුසුමක් හෙළුව ස්‌වාමි පුරුෂයා බිරිඳ දෙස හැරිලා බැලුවා... "හ්ම්... කමක් නෑ එහෙනම්... ආපිට ගිහින් තව මාසයක් දෙකක් ඉඳල එමු..." ඔහු උදාසීන හඬින් කීවා.
ඒ දෙන්න ගමන් මලු දෙක අතට ගත්ත.
"දුව කතා කළේ... අපි මේ දූලගේ ගෙදර ඉඳල ගෙදර යන ගමන්... දුවට පොඩි දරුවෝ දෙන්නෙක් ඉන්නවා. පසුගිය දවස් ටිකේ අපි තමයි ඒ දෙන්න බලාගත්තෙ.. අපිටත් ඉතින් හැමදාම දරුවො ළඟ වුණත් ඉන්න බෑනේ කියලා හිතලා ගෙදර යන්නයි ආවේ. ඒත් පොඩි දෙන්න ගේ දෙක කරනවලු... ආච්චියි සීයයි ඕනෑ කියලා. මොනා කරන්නද... අපි මේ ආපහු පොඩි දූගෙ ගෙදර යන්න කියලා... අපි එහෙනම් ගිහිල්ල එන්නම්.."
බිරිඳ කීවා. ඊට පස්‌සෙ ආව වගේම දුම්රිය පාර පැනල අනිත් පැත්තෙ වේදිකාවට ගොඩ වුණා.
ආයෙමත් දුම්රියක් එන බව දැනුම් දෙන සීනුව නාද වෙන්න පටන් ගත්තා. ජනාදරීගේ හිත ඔරලෝසු බට්‌ටෙක් වගේ එහාට මෙහාට පැද්දෙන්න පටන් ගත්තා.
පෙට්‌ටි දහයක් දොළහක් අමුණාගෙන වේගයෙන් ආව දුම්රිය ජනාදරී ඉදිරියේ නතර වුණා.
"තුන්වන වේදිකාවට ළඟා වූ ශීඝ්‍රගාමී දුම්රිය බදුල්ල බලා පිටත් වේ. මෙම දුම්රිය නවත්වන්නේ වේයන්ගොඩ, පොල්ගහවෙල, රඹුක්‌කන, කඩුගන්නාව, මහනුවර, මහනුවර සිට බදුල්ල දක්‌වා වන සෑම දුම්රිය ස්‌ථානයකම නවත්වනවා ඇත..."
ස්‌ටේෂමේ යකඩ කට කෑ ගහන්න පටන් ගත්තා. වහා අසුනින් නැගිට ගත් ජනාදරී දෙවරක් නොසිතාම ළඟම තිබුණු දොරටුවෙන් දුම්රියට ඇතුළු වුණා.
"ඔහේ ගැන පැතිරිලා තියෙන ආරංචි ඒ තරම් ශුභදායක නැහැ. මං මේ මූණටම කිව්වේ මා ළඟ හැංගි හොරා කතා නැති නිසා, දැනගන්නවා හොඳයි මට මේ ගම ගැන විශේෂ වගකීමක් තියෙනවා. අපි මේ ගමේ මුල් පදිංචි කාරයෝ"
බංඩාර විදානේ එහෙම කිව්වේ සුධර්මා වැලිවිටගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්‌වා තවත් වරක් බලමිනි. සුදු වොයිල් සාරියකින් සැරසුණු ඇගේ ගෙල කිසිම පළඳනාවක් නොවීය. ඇය තවමත් බංඩාර විදානේ ළඟ සෙල් පිළිමයක් ලෙස සිටගෙන සිටියාය.
"ඇයි විදානේ මහත්තයෝ මං ගැන එහෙම කිව්වේ" ඇය විමසුවේ විවර කරගත් ඇස් ඇතිවය.
"හා....හා.... ඒ කතා ඕනෑ නැහැ. මං මේ නිර්දේශය කරන්නේ ඔහේගේ දරුවා ගැන සලකලා කාගේ නමුත් දරුවෙක්‌නේ."
බංඩාර විදානෙ මහත්තයාගේ ඒ ප්‍රකාශයත් සමඟ ගෙල පෙදෙසින් ආරම්භ වූ සිහින් දා බිඳුවක් පිට දිගේ රූරා ගලනු සුධර්මාට දැනුණි.
පාසලේ හයවැනි ශේ්‍රණියේ උගන්නා තම පුතා ක්‍රීඩාවට සමත් බව විද්‍යමාන කරමින් වළල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයට ඔහු ඇතුළත් කරන ලෙස තමාට දරුවාගේ ගුරුවරුන්ගෙන් උපදෙස් ලැබුණේ එය ක්‍රීඩාව සඳහාම වෙන්වූ විද්‍යාලයක් නිසාවෙනි. එම විදුහලට ඉල්ලුම් පත් යැවීමට ගමේ ප්‍රභූවරයකුගේ නිර්දේශය ඇත්නම් වඩාත් සුදුසු යෑයි ලැබුණ ආරංචි සමඟ බංඩාර විදානේ මහතා සොයා ආ ඇය තමා මෙතරම් අසරණ තත්ත්වයකට පත්විය යුතු දැයි අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කළාය.
දරු දෙදෙනකු සිටියද තාමත් තරුණ විය නොඉක්‌මවූ තමාගේ සොඳුරු කැදැල්ලට හෙණහුරා ලැබුවේ තමාගේ ස්‌වාමි පුරුෂයා හෙවත් ජයන්ත වැලිවිට ගේ හදිසි අභාවය නිසා බව ඇය සිතුවාය. හඟුරන්කෙත ප්‍රදේශයේ පාරම්පරික මධ්‍යම පාන්තිකයකු වූ ජයන්ත වැලිවිට සේවය කළේ හඟුරන්කෙත විදුලිබල මණ්‌ඩලයේ වැඩ පරීක්‌ෂකයකු ලෙසය. රාජකාරියේ යෙදී සිටියදී සේවකයකු විසින් අපරීක්‌ෂාකාරී ලෙස හේත්තු කර තිබූ ඇලුමිනියම් ඉනිමඟක් හිසමත වැටීමෙන් මිය යන විට ඔහු වැඩබලන ස්‌ථාන භාර නිලධාරි ලෙස සේවය කරමින් සිටියේය.
ස්‌වාමියාගේ අභාවය සමඟම තමාට ලැබුණු විශාල වන්දි මුදල සහ ඇයට හිමි වූ අර්ථසාධක මුදල් බැංකුවේ තැන්පත් කළේ හුදෙක් ආරක්‌ෂාව පතා මිස ආයෝජනයක් ලෙස නොවේ. ජයන්තගේ අභාවයෙන් තෙවැනි මස ඉකුත්වත්ම ක්‍රමයෙන් ඔහුගේ පවුලේ අය තුළින් නොහොඳ නෝක්‌කාඩු නිර්මාණය වන බව ඈ තේරුම් ගත්තාය. ඉඩකඩම් අයිතිවාසිකම් ප්‍රශ්න ක්‍රමයෙන් විකාශනය වී ඊට පසු ඇගේ දෛනික ජීවිතයේ කටයුතු ද වැරදි ලෙස දැකීමේ ක්‍රමය කූටප්‍රාප්තියට පත් වූයේ ජයන්තගේ සොයුරා බීමත්ව ජයන්තගේ නිවසේ අයිතිය තමාටත් ඇති බව ගෝරනාඩු කිරීමක් සමඟය.
ජයන්තගේ අභාවය දිනවලදී විදුලිබල මණ්‌ඩලයේ ප්‍රධානීන්ගේ නොමඳ අනුකම්පාවට භාජනය වූ දරු දෙදෙනා සහ ඇයට අවසානයෙහි ඒ අනුකම්පාව උපයෝගි කරගෙන තමා ජීවත්වූ නිවස විදුලිබල මණ්‌ඩලයටම බදු දීමට හැකි විය.
ඊළඟට බුසල් දෙකක පමණ වූ එළවළු වගා කරන කුඹුර තම ඥතියකු වන ජයසිංහ මාමාට පැවරුවේ ඔහු විශ්වාසවන්ත ඥතියකු නිසාය.
මාරතුගොඩ ප්‍රදේශයේ කඩමණ්‌ඩිය අසල නිවසක් මිලට ගැනීම සඳහා ඇයට උදව් කළේ ද විදුලිබල මණ්‌ඩලයේ හිතවතුන්ය. ජයන්තගේ වන්දි මුදල සහ අර්ථසාධකය මෙම නිවස මිලට ගැනීමට හොඳටම ප්‍රමාණවත් විය. මේ සියලු කටයුතුවලටම සහායට සිටි අනෙක් පුද්ගලයන් වූයේ තම වැඩිමහල් සොයුරන් දෙදෙනාය.
බංඩාර විදානේගේ ලිපිය ලබාගත් ඇය ඔහුට දණගසා වන්දාය. පිරිපුන් ඇගේ සිරුර දෙස බලා සිටි විදානේ වහා ගෙතුළ දෙසට නෙත් යොමු කළේය.
"මොනවද ඔය අරවා මේවා. දෙඩෙව්වේ, අර ගෑනිට ලියුම දෙන්නේ නැතිව"
තම බිරිඳගේ අවලාද සටහනක් පිටුපසින් ඇසෙත්ම ගේට්‌ටුව පසුකරන සුධර්මා වැලිවිටගේ දෙපසට වැනෙන පශ්චාත් භාගය දෙස තවමත් බලා සිටි විදානේ මහතා තම බිරිඳ දෙසට හැරුණේය.
"අපි ගමේ ප්‍රභුන්, අපි හදාගන්න ඕනෑ මේ ගම, නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න තියන්න හොඳ නැහැ. අපි නොදන්නවා වගේ ඇහැ කන පියාගෙන ඉන්න හොඳ නැහැ. ලැබුණු අවස්‌ථාවේ කියන්න ඕනෑ."
"මොනවාද ඔහේ දන්නේ ඒ අම්මණ්‌ඩිගේ කල්කිරියාව ගැන?" භාර්යාවගේ ප්‍රශ්නය හමුවේ විදානේ මහතා අඩියක් පස්‌සට ගත්තේය.
"එහෙමත් කියන්න තරම් දෙයක් නැහැ. ඒත් යමක් වෙන්ට ඉස්‌සර අපි පියවර ගන්න ඕනෑ."
විදානේ තවදුරටත් කතාව දික්‌ගස්‌සා ගැනීමට අකැමැති විය. ගලවා ගත් උපැස් යුවළ සහ බෝල් පොයින්ට් පෑන ද රැගෙන ඔහු කාමරය දෙසට ගියේය.
දරුවාගේ සහ තම මවගේ වියපැහැදම් සඳහා ගේ බද්දට දීමෙන් ලැබෙන මුදල ප්‍රමාණවත් වුවත් සුධර්මා මාවතගම "මයුරා ගාමන්ට්" හි රැකියාවට ගියේ විශේෂ හේතු කීපයක් නිසාය. ඒ ආයතනය හිමි තම වැඩිමහල් සොයුරාට කරන උදව්වක් වීමත් පාලිකාව ලෙස කරන සේවය නිසා ඇයට ලැබෙන ආර්ථික වාසියත් ඉන් ප්‍රධාන විය.
මාරතුගොඩ ගමට ස්‌ථිර පදිංචියට පැමිණ මාස දහයක් ඉක්‌මවූ නමුදු ඇයට ගමේ පූර්ණ සාමාජිකත්වය ලැබී නැතැයි ඇයට හැඟුණි. තම රැකියාව නිසා නිරන්තරව ගමේ කටයුතු හා සම්බන්ධ වීමට නොහැකි වුවත් හැකි සෑම විමට ඇය පොදු කටයුතුවලට සහභාගි වීමට අතපසු නොකළාය.
ඉසිපතනාරාම විහාරස්‌ථානයේ දිනපතාම පාහේ සවස ගමේ කාන්තාවන් වැඩි පිරිසක් එක් වූයේ පෞද්ගලික මූල්‍ය ආයතනයක් විසින් පවත්වන ණය දීමේ වැඩමුළුවලට සහභාගි වීමටය. ඔවුන් නිරන්තරව උත්සාහ කළේ තවත් සාමාජිකාවන් තම සංගමයට සහභාගි කරවා ගැනීමටය.
ණය කණ්‌ඩායමේ කාන්තාවන් අතර "සුධර්මා වැලිවිට" මාතෘකාවක් වූයේ ඇය මෙම ණය සංගමයට බඳවා ගැනීමට ඔවුන් කළ උත්සාහය කාරුණිකව ප්‍රතික්‌ෂේප වීමත් සමඟය.
"ගෑනිට සල්ලි එනවා වෙන ක්‍රමයකට, ඔය උදේට හවසට යන්නේ ගාමන්ට් නොවේ. වෙන රෝන්දයක්, කෝ මිනිහා? නාඩගං නටලා හදාගත්ත ළමයිද කොහෙදෝ. නෑදැයෙක් නැහැ. අහසින් වැටිලා වගේ. ඒත් උජාරුව විතරක් බලන්න එපායැ."
ඒ ඇය පිළිබඳ ගමේ කාන්තාවන්ගේ තක්‌සේරුව විය.
පහේ ශිෂ්‍යත්ව විභාගය සමත් වූ හේතුවෙන්ම දියණිය පූජාපිටිය ජාතික පාසලට ඇතුළත් කිරීමට සුධර්මාට හැකියාව ලැබුණත් ගමේ නෙත් මේ දෙස බැලුවේ වෙනත් දෘෂ්ටි කෝණයකින්ය.
" අම්මගෙ පොත්ත රතුයිනේ, ප්‍රින්සිපලුත් පැනලා ගන්න ඇති දූ සිඟිත්ත. කොහොමත් අපි අපේ ඉලංදාරි ටික ගැන ඇහැගහගෙන ඉන්න ඕනෑ."
බංඩාර විදානේ දැක්‌වූ අදහස කැටයම් සහිතව ගමපුරා ප්‍රචාරය වීමට වැඩි කාලයක් ගත නොවූයේය.
ගමේ පන්සලේ දහම් පාසලට තම දරුවන් දෙදෙනා භාරදීමට කැටුව ගිය සුධර්මා පත්වූයේ අනපේක්‌ෂිත අපහසුතාවකටය. තම ස්‌වාමියාගේ ගමේ දහම් පාසලේ මීට පෙර උගත් දරුවන්ගෙන් අස්‌වීමේ සහතිකය ඇය රැගෙන නාවේ එය අත්‍යවශ්‍ය නොවන දෙයක් ලෙස සලකමිනි.
"දැනට ඉඩ නැහැ කියන්න. මහ අම්මණ්‌ඩිගේ කල්කිරියාවත් එච්චර හොඳ නැහැ කියනවානේ. ලබන අවුරුද්දේ බලමු කියන්න. ඒ වෙන කොට මුන් ගමෙන් ගිහිල්ලා ඉඳීවි."
මේ සතරකම්මන්ත්‍රණය පෙරදා සවස වුණේ බංඩාර විදානේ මහතාගේ සහ දහම් පාසලේ විදුහල්පතිනි ලෙස සේවය කරන විශ්‍රාමික ගුරුවරියක් වූ නියංගොඩ මැතිනිය අතරය.
සාකච්ඡාව එලෙසින්ම ක්‍රියාත්මක විය. රජයේ මහා විද්‍යාලයකට ළමුන් ඇතුළත් කිරීමටත් තමා මේ තරම් මහන්සි නොවූ බව සිතමින් සුධර්මා පිටව ගියේ තමන් කෙරේ උපන් කලකිරීමත් සමඟය.
ප්‍රභූවරයෙක්, දානපතියෙක් හා ප්‍රදේශයේ සංගම්වල මුල් තැන සිටින්නෙක් ලෙස තමාගේ කීර්ති නාමයට හා අභිමානයට පාසලක බුදුගෙයක් විවෘත කිරීමක් වැනි උත්සවයක් තර්ජනයක් වේ යැයි බංඩාර විදානේ මහතා කිසිවිටක නොසිතුවේය.
සිසු දරුවන්ගේ සහ දානපතීන්ගේ ආධාර උපකාරයෙන් ගොඩනඟන පූජාපිටිය මහා විද්‍යාලයේ බුදුගෙය මෙතෙක් කලක් විවෘත නොවූයේ බුදු පිළිමයක් සපයා ගැනීමට නොහැකි වීම නිසාමය.
සිය ස්‌වාමියාට පිං පිණිස බුදු පිළිමයක් පරිත්‍යාග කිරීමට සුධර්මා ඉදිරිපත්වීමත් සමඟම බුදුගෙය විවෘත කිරීමේ සියලු කාර්යයන් සංවිධානය විය.
බුදුගෙය විවෘත වූයේ අසල විහාරයක විහාරාධිපති ස්‌වාමීන් වහන්සේ අතිනි. ප්‍රථම මල් පූජාවට බංඩාර විදානේ මහතා ද ආරාධනා ලැබ සිටියේය. තමා ළඟම සුදුවතින් මල් වට්‌ටියක් මලසුන මත තැබුවේ තම ගමට මෑතකදී පැමිණි කාන්තාව බව හඳුනා ගැනීමට විදානේ මහතා අසමත් නොවීය.
"මේ ගෑනි කොහොමද මෙතන ඉස්‌සරහට ආවේ?"
විදානේගේ කුකුසට පිළිතුරු ලැබූයේ විදුහල්පතිතුමාගේ දේශනයත් සමඟය. ඉදිරි අසුනක ආරාධිතයන් සමඟ වාඩිවී සිටි සුධර්මා වෙත අත දිගු කර පෙන්වූ විදුහල්පති ඇයගේ නොමසුරු දායකත්වය නොවූයේ නම් මෙම උත්සවය තවත් ප්‍රමාද වීමට ඉඩ තිබුණේ යෑයි ප්‍රකාශ කළේ ස්‌තුති පූර්වකවය.
තමා අඟල් ගණනකින් පසුපසට ගිය වගක් විදානේ මහතාට හැඟුණි.
සුනාමිය රට වෙළාගත් ව්‍යසනයක් විය. රටේ ඒ පිළිබඳව ඇති වූ ප්‍රවණතාවට සමගාමීව මාරතුගොඩ ප්‍රදේශයේ ජනතාව ද සුනාමි ආධාර එකතු කිරීමට උත්සුක වූහ.
පෙරමුණ ගත්තේ තරුණයන්ය. ගෙයක් ගානේ ගොස් එකතු කරගත් භාණ්‌ඩ සුනාමි ප්‍රදේශයට භාරදීමට සකස් කරන තුරු ගබඩා කිරීමට ඔවුන්ට සුධර්මාගේ නිවස පිටිවහලක් විය. දිවා කාලයේ සුධර්මාගේ මව පමණක් සිටීම සහ මෙම නිවස කඩමණ්‌ඩිය ආසන්නයේ තිබීම කාර්යයට මහත් පහසුවක් විය.
භාණ්‌ඩ වර්ග කිරීම, කාණ්‌ඩ කිරීම, පාර්සල් කිරීම ආදී සියලු කාර්යයන්ටම ගමේ තරුණ පිරිස සුධර්මාගේ ගෙදරට ආවෝ ගියෝය. තමාගෙන් ඉටුවිය යුතු මෙහෙයක් ලෙස මෙයට පූර්ණ දායකත්වය දුන් සුධර්මා පැමිණි තරුණ පිරිසට සංග්‍රහ කිරීමට ද නොපැකිළව ඉදිරිපත් වූවාය.
"සුධර්මා අක්‌කේ ඔය තේ හැදිල්ල නවත්වන්න. අපි කාල බීල එන්නේ ගෙවල්වලින්"
එහෙත් ඔවුන් ඉල්ලූ පරිදි සංග්‍රහයේ කිසිදු අඩුපාඩුවක් නොවීය.
"හරි ඔන්න කුරුල්ලා අත්තේ වැහුවා. කරලේ වහන්න තමා අත්තේ වැහුවේ." විදානේ මහතාගේ කණ්‌ඩායමේ අදහස විය.
ගමේ තරුණයන් මෙම නිවසට මෙසේ රොක්‌වීම ගමේ කාන්තාවන්ගේ හා වැඩිහිටි පිරිමින්ගේ ප්‍රසාදයට හේතුවක් නොවීය. ඔවුන් ඒ දෙස බැලුවේ පියවි දෑසින් නොවේ.
"ඔය ටික අපි කලින්ම දැනගත්තා. ඒකයි පුළුපුළුවන් විදිහට අනතුරු ඇඟවූයේ." බංඩාර විදානේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ගමේ සිදුවූ මළ ගෙදරකදීය.
"කෝකටත් අපේ ඉලංදාරි ටික ගැන ඇහැගහගෙන ඉන්න ඕනෑ" ප්‍රධාන දායිකාවක් වූ කුමාරිහාමි ද යළිත් තම අදහස මුදාහැරියාය.
සුනාමි ව්‍යසනය රටෙන් තුරන් වුව ද ඒ හා ගමේ අයගේ සිත් තුළ ඇති වූ ව්‍යසනය තුරන් වීමට තවත් සෑහෙන කාලයක් ගෙවුණි. එහෙත් තුවාලය සම්පූර්ණයෙන්ම සුව නොවූ තරම්ය.
ඒ බව පැහැදිලි වීමට හොඳම උදාහරණය වූයේ සුධර්මා වැලිවිට ගමේ පන්සලට සලාක දානයක් දීමට දිනයක් ලබාගැනීමට ගිය අවස්‌ථාවය.
"දානේ පූජා කරන්න ආයේ දවසක් වෙන් කරන්න ඕනෑයෑ උපාසකම්ම, ඔය පුළුවන් වෙලාවට දානේ දෙන එකනේ ඇත්තේ, අනික දායක සභාව දැනමටත් දං සීට්‌ටුව හදලා අහවරයි නොවැ."
ලොකු හාමුදුරුවෝ ප්‍රකාශ කළේ තමාට එදින උදැසනම බංඩාර විදානෙගෙන් ලැබුණ උපදෙස්‌වල සාරාංශය විය.
"අපේ හාමුදුරුවනේ අපි ගමේ ප්‍රභූන් විදිහට දැනගන්න ඕනෑ ගම හසුරුවන විදිය. ගමට ඇවිත් අවුරුද්දක් වුණ එක හැබෑව. ඒත් එක පාරටම දං සීට්‌ටුවට ඇතුල් කළා කියන්නේ සාමාජිකත්වය අපි ඉහළින්ම පිළිගත්තා වගේනේ. ඕව ආවාට ගියාට කරලා බැහැ අපේ හාමුදුරුවනේ"
විදානේ මහතාගේ ප්‍රකාශය එකහෙළාම ඉවත දැමීමට තරම් ශක්‌තියක් ලොකු හාමුදුරුවන්ට නොවීය.
"ඇයි විදානේ මහත්තයො ඔය සුනාමි දවස්‌වලත් ගමේ ගැටවුන්ට ගොඩක් උදව් කළාලු නේද ඔය ඇත්තී"
"පුහ්! හොඳ උදව්ව කොල්ලෝ ටික ගෙට වද්දගන්න වෙලාවක් බල බලා හිටියේ. දැන හඳුනාගත්තට පස්‌සේ කී දෙනෙක් රිංගයිද දන්නෙ නැහැ රෑට රෑට"
"ඇයි විදානේ මහත්තයෝ එහෙම කතාවක් හැදිලා ද මේ ටිකට?"
"ඔප්පු කරන්නට මේං කියලා තාම කාරණා නැහැ අපේ හාමුදුරුවනේ. ඒත් ගමේ ගොඩේ වෙන කතාබහයි මං කිව්වේ."
විදානේ ප්‍රකාශ කළේ පන්සලේ දොරටුවෙන් ඉවත බලාගෙනය.
"ඒකත් එහෙමද?"
"අපේ කුලඟන සමිතියටත් බැඳෙන්න ඇහැව්වලු ඔය අම්මණ්‌ඩි. අර සභාපති දැරිවි හොඳ වෙලාවට මගෙන් ඇහුවා. ඔළුව දාගන්න ඉඩ දුන්නොත් ඔටුවා කූඩාරමට රිංගනවා අපේ හාමුදුරුවනේ"
"ඉතිං ඒ ඇත්තී කිසිම සමිති සමාගමකට නොගන්නද කල්පනාව. බැලු බැල්මට පේනවා සෑහෙන අධ්‍යාපනයකුත් තියෙන බව"
ලොකු හාමදුරුවන්ගේ ප්‍රකාශය විදානෙට රිස්‌සුණේ නැත.
"බැලු බැල්මට තවත් ජාති පේනවා. මොකටද මගේ කට. සාමාජිකත්වය ඉල්ලයි. පස්‌සේ තානාන්තරවලටත් රිංගයි. ඩිංගක් එහාට මෙහොට නලවලා කතා කළාම අපේ ගෑනුත් මේං කියලා තියයි සභාපති පුටුවෙම. ඕවා නියපොත්තෙන් කඩන්න ඕනෑ වැඩ අපේ හාමුදුරුවනේ."
විදානේගේ ප්‍රකාශය තුළ විරාමයක් නොවූ තරම්ය.
"ඔහොම බැලුවොත් විදානේ මහත්තයෝ ගමට අලුතින් දැනුමක්, අත්දැකීමක් එකතු වෙන්නෙම නැති වෙයිනේ. අනේ මං දන්නේ නෑ. උන්නැහේලාගේ කැමැත්තක්."
ලොකු හාමුදුරුවෝ සාකච්ඡාව අවසන් කළ බව තේරුණේ තම උපැස් යුවළ කොපුවට දාගැනීම සමඟය.
"ලොකු හාමුදුරුවොත් ඒකිගෙ පැත්තේ" විදානේගේ සිතුවිල්ල පිටතට පෙනුණේ නැත.
ගමේ පන්සලේ කඨින උත්සවයට පෙර පන්සල පිරිසිදු කිරීමේ ශ්‍රමදානයට සුධර්මාට ද සහභාගි වීමට හැකි වුණේ එය ඉරිදා දිනයක පැවැත්වූ හෙයිනි. තම දරු දෙදෙනා ද සමඟ පන්සල වෙත පැමිණි ඇය අනිකුත් පිරිස සමඟ හරි හරියට වැඩෙහි යෙදුණාය.
විල්බැරෝවට කුණු තාච්චියක් හැලූ ඇය සිනාසුණේ ඔසරි පොට ඉනේ ගසා ගනිමිනි. ඒ තරුණ දැරිවියන් කීප දෙනෙක් තමා හා කළ කතාවක් හේතුවෙනි.
"පන්සලේ කියලා නැහැ.. සිරික්‌කිය වැඩි වගේ. ලොකු හාමුදුරුවන්ටත් ඇහෙන්න ඇති හිනාව."
දහම් පාසලේ විදුහල්පතිනිය අත් බෝම්බයක් විසි කළාය. එහි බලය වැඩිහිටි කාන්තාවන්ගේ මොළය සිසාරා යන්නක් විය.
ආවාසය ඉදිරිපස වූ වැලි ගොඩ ඉවත් කිරීමට තීරණය කළේ එය කඨින උත්සවය දින කරදරයක් වේ යැයි ශ්‍රමදාන කාණ්‌ඩය විසින් සිතූ බැවිනි.
පොඩි හාමුදුරුවෝ විසින් පෙළට සිටුවූ කණ්‌ඩායම අතරින් වැලි තාච්චි එහා මෙහා ගියේය. සුධර්මා අත වූ තාච්චිය ලබා ගත්තේ තම තරුණ පුතා බව දුටු විදානේ එදෙස ඇස ගසාගෙන සිටියේය. ඇගේ නළලේ සිට දහඩිය බිදුවක් ගලා යනු දුටු විදානේ එහි සුන්දරත්වයක් ඇතැයි සිතුවේය.
තාච්චිය මාරුවත්ම ඇයගේ ඇඟිලි තම පුතාගේ දෑත හා ස්‌පර්ශ වේදැයි විමසිලිමත් වූ විදානේට එවැන්නක් සිදුවන බවක් පැහැදිලි නොවීය.
කඨින පිංකම සාර්ථකව අවසන් විය.
පූජාපිටිය ප්‍රාදේශීය සභාව සහ මහා විද්‍යාලය ඒකාබද්ධව විදුහල් භූමියේ පැවැත්වූ "සක්‌නඳ" සාහිත්‍ය උත්සවය හා සමගාමීව කාන්තා අත්කම් ප්‍රදර්ශනය සඳහා කුටි කීපයක්‌ම වෙන්කර තිබිණි. පාසලේ දරුවන්ගේ දෙමාපියන් අතර ක්‍රියාකාරී චරිතයක් වූ සුධර්මා වැලිවිට පාසල වෙනුවෙන් උත්සවය තුළ විශේෂ මෙහෙයක් ඉටු කළාය.
දේශපාලන අධිකාරියේ මැදිහත්වීම නිසා උත්සවයට මාධ්‍ය සහයෝගයක් ද එක්‌වී තිබිණි. එහෙයින් රූපවාහිනි නාලිකා දෙකක්‌ම තම දායකත්වය ඊට ලබා දුන්නේය.
නිරන්තරයෙන් ප්‍රදර්ශන කුටි කාර්යයන් විමසමින් ප්‍රදර්ශන භූමිය තුළ එහා මෙහා ගිය ඇගේ කඩිසර ඉරියව්ව රූපගත කළ රූපවාහිනි ශිල්පීන්ගේ අවධානයට යොමු වුවක් විය.
වරෙක ප්‍රදර්ශන භූමියේ නා නා පුද්ගලයන්ගේ 'වොයිස් කට්' ලබාගත් ශිල්පීන්ගේ මයික්‍රපෝණය සුධර්මා වෙත ද යොමු විය.
"ඇත්තටම කාන්තාවන්ගේ දක්‌ෂතා ප්‍රදර්ශනයට මේක හොඳ අවස්‌ථාවක්. හැකියාව තිබුණට අපේ ගම්වල කාන්තාවන්ට ඉදිරියට එන්න අවස්‌ථා අඩුයි. ගම්වල අටුවා බැහැපු පාරම්පරික අදහස් තමා අපට හරස්‌වෙලා තියෙන්නේ. කාන්තා අයිතිවාසිකම් කියන්නේ විහිළුවක් කියලා හිතෙනවා අපේ ගම්වල වැඩ දැක්‌කම"
පසු දින රාත්‍රි එතරම් ප්‍රසිද්ධ නොවූ රූපවාහිනි නාලිකාවක මෙම උත්සවය පිළිබඳව තොරතුරු විකාශනය විය. සුධර්මාගේ ප්‍රකාශය ඇතුළත් වූයේ එයටය.
නා නා චැනල් වෙත තම දුරස්‌ථ පාලකය යොමු කරමින් සිටි රත්නායක තමාද සහභාගි වූ 'සක්‌නඳ' ප්‍රදර්ශන භූමිය තිරයේ දිස්‌වත්ම වහා විමසිලිවත් විය. සුධර්මාගේ ප්‍රකාශය ඔහු දුටුවේ ද ඒ අවස්‌ථාවේදීය.
"සුධර්මා අක්‌කා ඊයේ දුන්නා ඇට්‌ටි හැලෙන්න ගමටම" රත්නායක පසුදා ප්‍රකාශ කළේ තම සයිකලයට පැච් එකක් දාගැනීමට වින්කලයට පැමිණි අවස්‌ථාවේදීය.
වින්කලයෙන් ආරම්භ වූ එම කෙටිකතාව කඩවීදියේදී තවත් කැටයම් වී නවකතාවක් බවට පරිවර්තනය වී විශ්ව කෘතියක් ලෙස ගම හරහා පන්සලට ආවේ සුධර්මා නම් වූ ගැහැනිය ගම නිර්දය ලෙස විවේචනය කර තිබුණ ආකාරය විචිත්‍රවත් කරමින්ය.
"අර ටීවී සාකච්ඡාව ඇහුවද අපේ හාමුදුරුවනේ" විදානේ ඇසුවේ ගමේ කණ්‌ඩායමක් සමඟ පසු දිනම පන්සලට පැමිණි අවස්‌ථාවේදීය.
" බැරි වුණා නොව. ආණ්‌ඩුවේ චැනල් එකක්‌ද, මං දන්නේ නැහැනේ. බැලුවද විදානේ මහත්තයා" ඒ හාමුදුරුවන්ගේ පැනය වූයේය.
"පුහ්! අපි උස්‌සලා පොළොවේ ගැහුවා වගේ. අපෙන් අසාධාරණ වුණාලු. අයිතිවාසිකම් දුන්නේ නැතිලු. ඉදිරිය ගැන බලාගන්නවලු. තව...."
විදානේට වචන ගළපා ගත නොහැකි වූයේ සැබැවින්ම මෙය තමා නොදුටු බව පසක් වීමෙනි.
"ගමේ ගෑනුන්ටත් හොඳට දෙහි කැපුවා හාමුදුරුවනේ කමලාවතී උපාසිකාව ද ඌන පූර්ණය කළාය.
"බලපුවාම මං විතරක් නොවැ දැකලා නැත්තේ හැමෝම බලලා තියෙනවා මේ සාකච්ඡාව." හාමුදුරුවන්ගේ ප්‍රතිචාරය තුළ වූයේ උපහාසයක්‌ද සමච්චලයක් ද පැහැදිලි නොවුණි.
අරුමයකි, මේ අනුව බලන විට ලොකු කුඩා සියලු දෙනාම මේ සාකච්ඡාව නරඹා තිබිණි. කිසිදා ප්‍රවෘත්ති ප්‍රකාශයකට සවන් නොදුන් කාන්තාවන් සියලු දෙනාම මෙය දැක තිබිණි. එසේ ගමේ සියලු නිවාසවලට මෙම චැනලය පැහැදිලිව විකාශනය වී තිබිණි.
"ඔය කිව්වට මේ ගමේ ශ්‍රමදාන වැඩවලට එහෙම ඔය ඇත්ති ආවා ගියා නේද? මොකක්‌ද ඔය කීව චැනල් එක"
හාමුදුරුවන්ගේ ප්‍රශ්නයට පිළිතුරු දීමට කිසිවෙක් ඉදිරිපත් නොවුණි.
වෙසක් සඳ පොසොන් සඳ බවට පත්විය. එය කීප විටක්‌ම නැඟුණේය. බැස ගියේය. ගමට නිරන්තරව අලුත් අලුත් මාතෘකා එකතු විය.
සේවයට ගොස් පැමිණි සුධර්මා වැලිවිට මාරතුගොඩ හන්දියේදී බස් රථයෙන් බැස්‌සාය. අසල වූ තැපැල් හලේ සිටි විදානේ ඇය දෙස හැරී බැලුවේය. මඳ වේලාවක් බලා සිටියේය. තමාට පිටුපා යන ඇයගේ සාරියත් හැට්‌ටයත් අතර සුදු පැහැ ගත් පුළුල් තිරය තුළ ඔහුගේ දෙනෙත් සෑහෙන වෙලාවක් රැඳී තිබිණි. ඇය කුමකට හෝ ආපසු හැරී තමා දෙසට එනු දුටු ඔහු වහා ඉවත බලා ගත්තේය.
"විදානේ මහත්තයා පෝස්‌ට් ඔෆිස් එකට ආවා වගේ"
"ආ.... ඔව් ඔහේ වැඩට ගිහිං එන ගමන්ද?"
ඔහුගේ ප්‍රතිචාරය විය.
"ඔව් විදානේ මහත්තයා. අද අම්මත් ගෙදර නැහැ. අයියලාගේ ගෙදර ගියා. හෙට තමා එන්නේ ඒකයි ටිකක් කලින් ආවේ මං යන්නම්."
නියපිටින් කුස්‌සියේ දොරට දෙවරක් තට්‌ටු කරනු ඇසුණු සුධර්මා මඳක් නිහඬව සවන් දුන්නීය. ඔරලෝසුව රාත්‍රි 11.00 ප්‍රදර්ශනය කළේය. දියණිය තද නින්දේය. තෙවැනි වරටත් ශබ්දය නැඟුණු කල ඇඟිලි තුඩුවලින් කුස්‌සියට ඇදුණු ඇය විදුලි බුබුළ දැල්වූවාය. ඒ සමඟම "කවුද ඔය?" විමසුවාය.
"මේ...මේ...මං... දොර පොඩ්ඩක් අරින්නකෝ"
"කවුද මං කියන්නේ?"
"සුධර්මා නෝනා - පොඩ්ඩක් දොර අරින්නකෝ"
"මෙන්න හොරු!"
සුධර්මා කෑගැසුවේ යමෙක් දොරේ අගුල කරකවන ශබ්දය ඇසුණු හෙයිනි.
දොර අබියස හුන් කිසිවෙකු කඩිමුඩියේ එතැනින් ඉවත්වනු ඇසිණි.
හෙමින් දොර ඇරි ඇය අත තිබූ විදුලි පන්දම යොමු කරමින් නැවත 'කවුද?' මහාහඬින් විමසුවද කිසිවෙකු දක්‌නට නොවීය.
කුස්‌සිය අසල පිලේ සිටුවා තිබූ කරපිංචා පැළය සහිත පෝච්චිය පෙරළී තිබුණ අතර හමින් නිමවූ සෙරෙප්පුවක් ද ඒ අසල විය.
කුස්‌සියට අත යොමා ගත් කොසු මිටෙන් එම සෙරෙප්පුව දරගේ දෙසට විසි කළ සුධර්මා වහා දොර වසා අගුල දැමුවාය.
මාරතුගොඩ හන්දියේ පාවහන් වෙළෙඳසැලේ නිදි කිරමින් සිටි සුමනපාල වහා අවිදි වූයේ විදානේ මහතා වෙළෙඳසැලට ගොඩවීමත් සමඟය.
"ආ විදානේ මහත්තයා - එන්න එන්න."
"ගමුකෝ හොඳ සෙරෙප්පු කුට්‌ටමක් නොම්බර 10 යෙන්'
විදානේ මහතාගේ ප්‍රකාශයත් සමඟම සුමනපාල ඔහුගේ දෙපා දෙස බැලුවේය.
එහි පාවහන් යුවළක් නොවීය.
"ඇයි පරණ සෙරෙප්පු දෙක කැඩුණාද විදානේ මහත්තයෝ" සුමනපාල විමසුවේ සෙරෙප්පු පෙට්‌ටි කිහිපයක් තෝරමිනි.
"හ්ම්"
මලික් තුසිත ගුණරත්නගේ
'චන්දරේ මචං!!' කෙටි කතා සංග්‍රහයෙන්
"යකෝ මේකිට මොන යක්‍ෂයෙක් වැහිලද... බොන්ඩියෙ උඹ කොහෙද බොල ගියේ..?"
"තොට මොකද කතා කරන්න බැරි... කටේ පිට්‌ටුද...?"
"ඊයේ රෑ හිටං අපි මෙහෙ ගිනි පත්තුවෙලා .... තොට මොන මදනය ගැහුවද...?"
"බොල පරට්‌ටියෙ උඹ මනමාල ගං ගියාද..?"
"ඊයේ මුළු ගමම රෑ නිදි වරාගෙන උඹව හෙව්ව... අපි උන්නෙ අද උදේ උඹේ මළ මිනිය මෙහෙට ගේන්න...කියහං ගෑනියේ උඹට මහසෝන වැහිලද...?"
සීලියා හාමිනේත්, හේරස් හාමිත් විඩෙන් විඩේ සන්ධ්‍යාගේ මුහුණට එබෙති. ඇය නිරුත්තරය. ඒත් ඇස් ගෙඩි දෙකේ ලොකු කඳුළු බිංදු දෙකක් හිර වෙලාය. ඒවා එළියට එන්නේ නැත. ඇතුළට යන්නේද නැත. ඇයගේ මුහුණේ බියක, තිගැස්‌මක සේයාවකුදු නැත. සන්ධ්‍යා තෙත ගවුම දෑතින් උණ්‌ඩි කරගෙන සිටියාය. ඉන් වතුර බිංදු වෑස්‌සෙමින් තිබිණි. ඒවා කඳුළු යයි අම්මා වරදවා වටහාගෙන තිබීම සන්ධ්‍යාට සතුටකි.
"ඇයි උඹ අඬන්නෙ..?"
"උඹට මොකක් හරි කරදරයක් උනාද... කවුරු හරි කරදරයක් කළාද...?"
ඇය උණ්‌ඩි කරගෙන සිටි ගවුම ගසා දැමුවාය.
"උඹ තෙමිල මොකද...... උඹ හිටියෙ නිල් ගඟේද... උඹව කවුරු හරි ගඟට තල්ලු කළාද....?"
මුළු ප්‍රශ්න පත්තරයම අම්මාගේය. ඇයගේ හඬ උස්‌ය. උත්තර බඳින්න බැරිය. එක්‌කෝ කම්මැළිය. රැයක් පුරා විඳි මිහිර හරිම සුන්දරය. එම සුන්දරත්වයේ එබී, මිදී, කිමිදී සිටින්නට සන්ධ්‍යා කැමැතිය.
"කියපං මයේ පුතේ..."
අන්තිමේදී අම්මා පහළම පඩියට බැස්‌සාය. හඬ තුනී විය. දෙනෙතින් කඳුළු බිඳු කඩාගෙන වැටිණි. අසල වූ සියඹලා ගහ උගුලුවාලන්න තරමේ සුසුම් පිටවිණි. හේරස් හාමි කිසිවක් නොකිව්වේය. අහල පහල ගමේ උදවිය තුෂ්නිම්භූතව බලා සිටියහ. සන්ධ්‍යා කිසිවක් නොකීවාය.
මහතුන් මාමා දිව ගියේ කට්‌ටඩි මාමා රැගෙන එන්නටය. ඊට උපදෙස් දුන්නේ තාත්තාය. වර්ග පහක මල්, දෙහි, කට්‌ටකුමන්ජල්, දුං කබල, පුටුවක්, සුදු රෙද්දක්, පැදුරක්, හඳුන්කූරු, පහනක් කඩිමුඩියේ එක්‌රැස් කෙරිණි.
ඇප නූලක්... සන්ධ්‍යා සිනාසුණාය. ක්‍ෂණයකින් ඇය එය ලොවෙන් වහන් කළාය. ශිරෝමි නංගි එය දුටුවාය.
"අන්න හිනා උනා..... ආයිත් ඔරෝ ගත්ත..." ඇය අම්මා සමග මුණු මුණු ගෑවාය.
"මේ ඇඳුම මාරු කරපල්ලා.... ගෙට ගෙනියන්න එපා..... වැහිල ඉන්න මහසෝන ඒ පාර ගෙටත් රිංග ගනියි." තවත් කවුද කෑ ගැසුවේය.
සන්ධ්‍යා දෙවැනි පාරටත් සිනාසුණාය. ඒ සිනාවද ශිරෝමි දුටුවාය.
"අන්න ආයිත් හිනා උනා.... " ශිරෝමි අම්මාට කෙඳුරුවාය. " කෑ නොගහ ඉඳිං යෝදියේ" අම්මාද ඇයට කෙඳිරුවාය.
"තනිකං දෝසයක්....."
"ඔව්.. ඔව්. මට තනිකං දෝසයක් තමයි... " සන්ධ්‍යා තොල් මතුරා ගත්තාය.
"අන්න..... අන්න.. සන්ධ්‍යාක්‌කා තොල් මතුරනවා" ශිරෝමි නංගා නැවත කෑ ගසන හඬ සන්ධ්‍යාට ඇසිණි.
"දොඩවනව.. කෝ බලන්න මයෙ දුවේ.. කතා කරපං මයෙ දුවේ.. " සීලියා හාමිනේ දියණියගේ හිස මෘදුවට අත ගෑවාය.
"උඹට මොකද වුණේ් දුවේ... උඹට කාව හරි වැහුන ද ...? කියපං දුවේ......"
අම්මාගේ වචනවල ආදරය උතුරා යමින් තිබිණ, එහෙත් ඇත්ත කියන්නේ කෙසේද.... මේ නීරස ඇත්ත කියූ සැණින් නොඅනුමානව තමා පිස්‌සියකගේ තත්ත්වයට පත්වෙන බව සන්ධ්‍යා දැන සිටියාය.
"කියපං දුවේ.... මම අම්මා..... උඹට මට කියන්න බැරි දෙයක් නෑ....... උඹට කරදරයක් වුණාද? උඹට කාවද වැහුනෙ..?"
කිඹුලා!
* * * * *
කිඹුලාගේ විමානය ලස්‌සනය. එය තනිකරම ගොඩනඟා තිබුණේ කිරිමැටිවලිනි. කිඹුලාගේ නිදන කාමරය සිත් ගන්නා සුලුය. එහි බිත්තියක් මත මනරම් කිරිමැටි කැටයමක් කපා මතු කොට තිබිණි. ඇඳ, ලියන මේසය, පුටුව පිළිවෙළට තබා තිබිණි. ඇයගේ වඩාත් සිත් ගත් ගෘහ භාණ්‌ඩය වූයේ මනාව අසුරා තිබූ පොත් රාක්‌කයයි. කිඹුලා කෙරෙයි ඇයගේ සිතේ පරම විශ්වාසයක් ගොඩ නැඟුණේ හරියටම පැය දෙකකුත් විනාඩි විසිපහකට පසුවය. එම හෝරා දෙකකට වැඩි කාල පරිච්ඡේදය තුළ සන්ධ්‍යා දුටුවේ තමා කොයි මොහොතක හෝ කීතු කීතුවලට කැඩී කිඹුලාගේ උදර මාර්ගයේ තැන්පත් වන බියකරු සිහිනය පමණි. කිඹුලා විසින් තමාට මරණය නොව ජීවිතය ගෙන එන බව ප්‍රත්‍යක්‍ෂ වුණ පළමු විනාඩියේම සන්ධ්‍යා තම පල්ලියේ සීනු හඬ අවදි කළාය.
"ඇයි මාව ගිලින්නෙ නැත්තේ. කිඹුල්ලු ගැන මම අහල තියෙන්නෙ බොහොම භයානක කතා. අත පය කඩා ගන්නව. පස්‌ස පැත්තෙ මස් කුට්‌ටිය ඩැහැ ගන්නව. මිනිස්‌සු මරනව. මිනිස්‌සු රැකගෙන ඉඳල ඔයගොල්ලො අල්ලනව. පරිසර සංවිධාන ඔයගොල්ලො වෙනුවෙන් කතා කරනවා. වන ජීවියෙන් උපදෙස් දෙනවා. නේවි එකේ බෝට්‌ටු නිල් ගඟේ එහාට මෙහාට යනව. මේ ඔක්‌කොම ඔයගොල්ලො මිනිස්‌සු මරන නිසා..."
"ඒ මගේ සනුහරේ වෙන අය.."
"ඇයි ඔයා එහෙම නැද්ද?"
"ඔයා කැමැති පොතක් මේ පොත් රාක්‌කෙන් තෝරා ගන්න. හැබැයි නව කතා නෑ. කවි පොත් නෑ. මහා ජල විශ්වවිද්‍යාලයට අවශ්‍ය වුණ මගේ නිබන්දන ඇති ඊට අදාළ පර්යේෂණ පොත් ඇති. කොටින්ම විෂයට අදාළ පොත්..."
"අනේ මට එපා ඒවා...... හොඳ නවල් එකක්.. ආදරේ හිතෙන.. ආදරේ කරන... පෙම්වතා දිනන..... අන්තිමට එක් වෙන පොත්.."
"ඒවා නෑ.. "
"ඉතිං ඇයි කියන්න මාව මෙහෙ ගෙනාවෙ?"
"දන්නෑ"
"ඇයි මාව මැරුවෙ නැත්තේ?"
"දන් නෑ"
"තව කොච්චර කල් මාව මෙහෙ තියන් ඉන්නවද?"
"දන් නෑ"
"අනේ මේ මොකද අනේ මේ... ඔක්‌කොටම දන් නෑ. දන් නෑ.. මොනවද දන්නේ."
කිඹුලා මෘදුව සන්ධ්‍යාගේ දකුණතේ ඇඟිල්ලක් මිරිකුවේය. එහි කිසිම සුවදායක බවක් නොවිණි. මෘදු බවක්‌ද නොවිණි. සන්ධ්‍යාට පසන් මධුශංකව සිහිවිණි. දලුක් කැලයේ රූස්‌ස දිවුල් ගහක් යටදී දිනක් ඔහු විසින් සන්ධ්‍යාගේ සියලු ඉඳුරන් අවදි කර දමා තිබිණි. පසන් මධුශංක ජපුරේය. මේ දුප්පත් ගමෙන් ප්‍රථමයෙන් විශ්වවිද්‍යාලයකට ගියේ ඔහුය. පසනුත් සන්ධ්‍යාත් ගියේ එකම පාසලකටය. සන්ධ්‍යාගේ සුරූපි බව විසින් ඒ වනවිටදී පාසලේ කොල්ලන් කිහිප දෙනෙක්‌ම කරකවා අතහැර දමා තිබිණි. පසන් මධුශංක ද කැරකුණාට සන්ධ්‍යාගෙන් ඉවත ගියේ නැත.
ඔහු ඇය වෙත ළං විය. ආදරයක් ප්‍රකාශ නොවුණද. ජ'පුරේ කරදර පවතින්නේ යැයි ආරංචි වන හැම මොහොතකම ගුවන් විදුලිය, රූපවාහිනිය වෙත හෝ පහුවදා පත්තරය වෙත ඇයගේ දැස් දිවයන්නේ මන්දැයි ඇය දන්නේ නැත.
පසන් මධුශංක ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු දැයි සන්ධ්‍යා නිශ්චිත වශයෙන් දැන සිටියේ නැත. එහෙත් ඔහු, නිදි වැද තිබෙන ගැහැනියකගේ පසිඳුරන් අවදි කොට ගිනි තැබීමට තරම් උපන් සමතෙකැයි සන්ධ්‍යාට සිතිණි.
කිඹුලාගේ කර්කශ සන්තර්පනය සත පහක්‌වත් නොවටිනා එකකැයි සන්ධ්‍යා සිතුවාය.
අ.පො.ස. උසස් පෙළ විභාගයට තව ඇත්තේ සුමාන තුනකි. කවදත් ගොම්මනේ නිල් ගඟ වෙත යැම සන්ධ්‍යා පුරුද්දක් කරගෙන සිටියාය.
දිනපතා පාසල් ගොස් පැමිණ පැය තුනක් පාඩම් කිරීම ඇයගේ දවසේ අනිවාර්ය අංගයක් බවට පත්වෙමින් තිබිණ. එම පුරුද්ද ඇති කළේ පසන් මධුශංකය. ඒ ඔහුගේ විදිහය. ඒ විදිහ පුරුදු වන්නට සන්ධ්‍යාටද තිබුණේ ආසාවකි.
මේ කියනා දවසේ සන්ධ්‍යා නිල් ගඟට බැස්‌සේ හැන්දැවේ ඇඟ සෝදා ගැනුමටය. කිඹුල් කොටුව නිසා බිය වීමට හේතුවක් නැත. කිඹුල් කොටුව හැදුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ ඉල්ලීම පිට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාය. එහෙත් සැබැවින්ම කිඹුල් කොටුව හදා දුන්නේ දෙදරු මවක් වූ ඇලිස් අක්‌කාය. ඒ ඇය කිඹුලකුගේ ගොදුරක් බවට පත් වූ පසුවය.
"ඇලිස් අක්‌කගෙ පපුව කෑවේ කවුද?"
හදිසියෙ මතක් වුණු පැනයක් සන්ධ්‍යා ඇසුවාය.
කිඹුලා එයටද සුපුරුදු උත්තරයම බැන්දේය.
"දන් නෑ..."
සබන් ගා කරවටක් දියේ ගිලී ගොඩඑන්නට තැත් කරන විටදීම කිඹුල් කොටුවේ ඝනකම කම්බිය සෙලවෙනවා සන්ධ්‍යා දුටුවාය. ඒ සැණින් කිඹුලෙකු තමාගේ පාදයෙන් අල්ල ගන්නවාද ඇයට දැනිණි. කෑ ගැසුවාට හඬ පිටවුණා දැයි ඇයට සැකයකි. නාන තොටේ වෙන කිසිවකු නොසිටීම අවාසනාවකි. කම්බි කූරු අතරින් තමාව නිල් ගඟේ ගැඹුරට ඇදී යනවා සන්ධ්‍යාට දැනිණි. කිඹුලා තම පය කටින් තද කරගෙන සිටියාට ඇයට රිදුමක් දැනුණේ නැත. සැබැවින්ම එතැන තුවාලයක් හෝ කකුල වෙන්වී යන තරමට තෙරපීමක් හෝ සිදු නොවිණි. ඇය වලාකුළු අතරේ¨ පාවී යන්නාක් මෙන් නිල් ගඟේ දඟකාර දිය රැළි අතරේ පා වුණාය. පසන් මධුශංක විසින් එතෙක් නොවිඳි මිහිරක් අත් කර දුන් දවසේද තමා මෙවැනිම පාවීමකට ලක්‌වුණු අයුරු ඇය සිහි කළාය. ඒ මහ පොළොවේ දිවුල් ගහ යටදීය. අද මේ නිල් ගඟේ දරුණු, ගැඹුරු දිය රළ අතරේය.
"ඔයාට හුස්‌ම ගන්න අමාරුද..." වරක් දෙවරක් කිඹුලා තමාගෙන් විමසුවා සන්ධ්‍යාට මතකය. ඇය ඒවාට පිළිතුරු දුන්නේ නැත. කෙටි ගමනකින් පසුව සන්ධ්‍යා කිඹුල් විමානයට පැමිණියාය. මේ ඒ ආ ගමනය.
"අම්මා බයවෙලා ඇති.... ගමම ඇහැරිලා ඇති"
සන්ධ්‍යා තම අත්ඔරලෝසුව වෙතට නෙත් හෙළුවාය. එය කිව් ඇන්ඩ් කිව් වර්ගයේ එකකි. වතුරටද ඔරොත්තු දෙන්නකි. එය තමාගේ දාහත්වැනි උපන්දියදා පසන් මධුශංක විසින් දුන් ත්‍යාගයකි. එදා පටන් ඇය එය ගැලවූයේ රාත්‍රියේ නිදා ගන්නට යන විටදී පමණි. අන් හැම මොහොතකම ඔරලෝසුව ඇයගේ වම් අතේ වෙළී සිටියේ තවමත් තියාගන්න බැරිවුණ ආදරයක පූජනීය බරක් ද දරා ගනිමිනි.
"මාව මරන් නැතිව මෙහෙට එක්‌කන් ආ එකේ තේරුම මොකක්‌ද?"
ඊට පිළිතුරු දෙනු වෙනුවට කිඹුලා ඇයගේ එක අතක් ගෙන තමාගේ හිස මතින් තබා ගත්තේය.
සන්ධ්‍යා කිඹුලාගේ හිස පිරිමදින්නට පටන් ගත්තාය. ට්‍රැක්‌ටරයකින් කූඹුරක් හෑව පසු වගේ ඒ හම ගොරහැඩිය. ගොඩැලිය. උඩට නෙරා ඇති ඇස් ගෙඩි දෙක දොඹ ගෙඩි දෙකක් වැනිය. ඇය බලු, බළල්, ගව සුරතල් අත්විඳ තිබුණාට කිඹුල් සුරතලයක් මේ අත්වින්දාමය. සතුටක් නොලැබුණද මේ නුහුරු අත්විඳුමට ඇය තම සිත කැමැති කර ගත්තාය. පසන් මධුශංක තමාව හුරතල් කළ ආකාරයට සන්ධ්‍යා කිඹුලාව හුරතල් කරන්නට පටන් ගත්තාය. කිඹුල් ජාගර අපුල ඇය කෙමෙන් කෙමෙන් මැඬ ගත්තාය.
"මීට මාසෙකට විතර ඉස්‌සෙල්ල මං මගෙ අම්මව හීනෙන් දැක්‌ක."
"ඉතිං?"
"කවදාවත් මිනීමස් කන්න එපා කිව්වෙ මගේ අම්මා. උඹ උගතෙක්. මිනිස්‌සු එක්‌ක සහජීවනයෙන් වැඩ කරන්නය කිව්වා. මිනිසුන්ට උදව් කරන්න කිව්වා. මට හුඟක් අපලයි කිව්වා. ඒ අපලෙ දුරුවෙන්න නම් මිනිස්‌සු එක්‌ක වැඩ කරන්න කිව්වා. මිනිසුන්ගෙන් ජීවත්වීමේ කලාව ඉගෙන ගන්න කිව්ව. මං ඉතිං කාගෙන්ද ඕවා ඉගෙන ගන්නෙ. ඒත් මං දැක්‌ක ඔයා හැමදාම හැන්දැවට කොටුවට එනව. මං සුමානයක් තිස්‌සේ ඔය කම්බිකූර කටින් හපල කැඩුවා. මගේ උඩු ඇන්දෙ දතකුත් ගැලවුණා. මේ බලන්න බොරුද කියල".
කිඹුලා දත් විළිස්‌සුවේය. පිළී ගඳ මුහුවුණ ගන්ධස්‌කාරය සන්ධ්‍යාගේ නාස් පුඬු අකුලා දැමුවේය.
ඔයා දත් මැදලත් නෑ කාලෙකින්.."
"මං පශ්චාත් උපාධිය කළේ මිනිස් ශරීරයට යෝග්‍ය වන ජලයේ වැවෙන පෙඳ, පාසි, පැළෑටි ගැන. මං ඒවා ගැන පර්යේෂණ කළා. අර අල්මාරියෙ උඩම තියෙන්නෙ මං හදාපු ශාක සාර. මං ළඟදීම ඒවා ඕගොල්ලන්ගෙ ලෝකෙ සුපර් මාර්කට්‌වලට දානව. මේක මහා පරිමාණයේ ව්‍යාපෘතියක්. එතකොට මිනිස්‌සුත් අපිත් අතරේ සහසම්බන්ධතාවක්. සහජීවනයක් ඇතිවෙනව. මේ වෛරී ලෝක දෙක එක්‌කරන පාලම ඔයා. මං ඔයාව තෝරා ගත්තේ ඒ භූමිකාවට. ඔයා මිනිස් කිඹුල් ඒජන්ට්"
කිඹුලා දත් වහල්ල එළියට දමාගෙන සිනාසුණේය. සන්ධ්‍යාටද සිනා ගියේය. ඒ කිඹුලාගේ සිනාවටය.
* * * * *
කිඹුල් කොටුවේ ගැලවුණු යකඩ කූරු සවි කොට අලුත්වැඩියා කිරීමට ටෙන්ඩර් කැඳවන්නට ප්‍රාදේශීය සභාවට සිදු විය. එතෙක් නිල් ගඟ පරිස්‌සමින් පාවිච්චි කරන ලෙස සභාවේ නිල්පාට කැබ්රියේ උඩ බදින ලද යකඩ කටින් කාටකාටත් උපදෙස් ලැබිණි.
ප්‍රාදේශීය සභාව විසින් නියංගොඩ ගම්වාසීන්ගේ ජීවිත ටෙන්ඩරයක් මත දෝලනය වන්නට අතහැර දමා තිබුණේ එලෙසය.
කුඹුරේ වැඩ අහවර කොට ඇඟපත සෝදා ගන්නට නිල් ගඟට බැස්‌ස සිරිසේනගේ කලවෙන් පදාසයක් කිඹුලෙකු විසින් කඩාගෙන තිබුණේ පෙරේදා සවස් කාලයේදීය.
කිඹුල්කොටුව ළඟ ගොම්මන යස අපූරු කිඹුල් - මිනිස් සම්බන්ධතාවක් ගොඩනැඟුණේ මේ අතරතුරේදීය. එය මනුෂ්‍යත්වයේත්, තිරිසන් බවේත් උච්ඡතම හැඟීම්, යහ චර්යාවන් වර්ධනය කරන, ප්‍රාණයකට ප්‍රේම කරන, ගෞරව කරන මහා සමුළුවක් බවට පත් වී තිබුණේය. මේ ධරණී තලයේ ඉපදෙන ඕනෑම ප්‍රාණියකුට ජීවත්වීමේ පරම අයිතිය තිබිය යුතු බවට සන්ධ්‍යා තර්ක කළාය.
ආචාර්ය කිඹුලා ද ඔළුව සොලවා එය සනාථ කළේය.
"ඇයි එහෙනං සිරිසේන මාමගෙ කකුල කෑවේ.. අහන්න ආචාර්ය තුමෝ ඔයාගෙ සනුහරෙං.."
"මං උංගෙ ආධ්‍යාත්මය හදන්න දැනටමත් රැස්‌වීම් මාලාවක් සූදානම් කරල තියෙනව."
"ආචාර්ය තුමෝ, ඔයා රැස්‌වීම් තියල කිඹුල්ලු හදනකොට අපේ ගමේ භාගයක් නැතිවෙලා තියේවි"
මිනී මස්‌වල අගුණ ගැන ලියූ පෝස්‌ටර් කිහිපයක් නිල් ගංගා පතුලේත්, කිරිමැටි ගුහා තුළත්, වල් බෙලි ගස්‌වල මුල් අගිසිවලත් දැනටමත් අලවා ඇති බව කිඹුලා කීවේය.
"අපි ඕව දන් නෑ... ගං ඉවුරු දෙකේ දිගටම වන ජීවී එකෙනුයි පරිසර සංවිධානවලිනුයි අපිට නං පෝස්‌ටර් ගහල තියෙනව. කිඹුලන්ගෙන් ප්‍රවේසං වෙන්න කියල".
සන්ධ්‍යා එසේ කීවේ පොඩි ගල්කැටයක් කිඹුලාගේ ඔළුවට විසි කරමින්ය. ආචාර්ය කිඹුලා "දඩස්‌ගා ඔළුව දිය යට ඔබා ගත්තේය.
හැමදාම ගොම්මනේ කිඹුල් කොටුව ළඟදී සිදුවෙන මේ සංවාද සන්ධ්‍යාට නම් අපූරුය.
අසල පඳුර සෙලවෙනු සන්ධ්‍යා දුටුවේ කිඹුලා සමග මේ කතා බහ කරන අතරතුරේදීය.
ඔළුවේ බැඳ තිබූ රතු ලේන්සුව ලිහා කර මදට දා ගනිමින් සැම්සන් අයියා පඳුර තුළින් මතු වෙනු සන්ධ්‍යා දුටුවාය. කටේ බෝම්බු කෝට්‌ටකි. ඔහු කාරා කෙළ ගැසුවේය. සැම්සන් සන්ධ්‍යා සමීපයට ම ආවේය. ඇයගේ අතක් අල්ලා ගත්තේය.
"උඹ ළඟ පුසුඹයි". පාසලේදී කරකවා අතහැර දැමූ සැම්සන් කතා කළේය.
"මේ මොන මනමාලකමක්‌ද?"
"ඇයි බං... යමං කො අර පඳුර ළඟට ටිකක්"
"ඒ මොකටද.... අනේ සැම්සන් අයියේ.... මං කෑ ගහනව හොඳද..."
"ආ..... ඒකත් එහෙමද..."
* * * * *
සැම්සන් කියූ කතාව නිසා හේරස් හාමි තක්‌බීරි වී ගියේය. "බල බිඳිල.. බල බිඳිල"
හේරස් හාමි සීලියා හාමිට කතා කළේය.
"සන්දියාගේ ඇප නූල තාම තියෙනවද"
"ඔව් මම ඊයෙත් දැක්‌ක ඇඳුම් මාරු කරන කොට ඉනේ තියෙනව. බෙල්ලෙයි අතෙයි තියෙනව ඔහෙටත් පේනවනේ... ඇයි.."
"මේං බලහල්ලකෝ සැම්සනා කියන කතාව අපේ එකී ගොම්මනේ කිඹුල් කොටුව ළඟ කිඹුලෙක් එක්‌ක හැමදාම කතා කරනව කියල. මූ ඇස් දෙකටම දැකල තියෙනව කියන්නේ".
"කිඹුලෙක් එක්‌ක." සීලියා හාමිනේ දෙනෙත් විසල්විනි.
"ඔව්.... ඔව්.... ඒක නේන්නං. බල බිඳිල, උඹල මොකුත් පුළුටු එහෙම ගෙනාවද ගෙදරට".
"මං ගෙනාපු පුළුට්‌ටක් නෑ. තාම හත්දවස ගෙවුන් නෑ නොවැ."
"දෝසයක් දෝසයක්"
* * * * *
"දැන් හරිද?" සන්ධ්‍යා කෙළින්ම සැම්සන්ගේ දෙනෙත් දෙස බැලුවාය. ඇයගේ දැස් ගිනි පුපුරු දෙකක් මෙනි සැම්සන් දුටුවේ. "දැන් හරිනෙ. ගිනි තිබ්බනේ. ඕං අද රෑ තව මැතිරිල්ලක්. මොනවද අයියෙ මේ කරන වැඩ. මට මගේ පාඩුවෙ ඉන්න දෙන්න අයියෙ වඳින්නම්. දැන් මගේ ඉනේ කහ නූල් තුනක් තියෙනව. අද රෑ වෙනකොට හතරයි."
සැම්සන් සන්ධ්‍යාව කොටු කර ගන්ටන බැලුවෙ නිල් ගඟට යන්නට පෙර හමුවෙන තේ කොටුව දෙවැටේදීය.
එහෙම කොටු කර ගත්තද ඇයගේ ගිනි පුළිඟු දැස් දුටු සැම්සන් මඳක් පසු බා ගියේය. සැබැවින්ම ඇයට යකෙක් වැහිලාවත්දැයි සැම්සන් සිතුවේය. එහෙත් ඇඟ උණුසුම් කරවන රාගාශ්‍රිත සිතුවිලි වඩා බලවත් බව සැම්සන්ට සිතිණි. තමාගේ සියලුම අවයව අවදි වී ඊට අයෝමය ශක්‌තියක් කාන්දු වෙමින් තිබෙන බව සැම්සන්ට දැනිණි. දහවල් වරුවේදී ෆාමසියෙන් ගත් වාජීකරණ පෙත්තද ඔහුගේ අසංවර සන්නද්ධ බව වැඩි කර දමා තිබිණි.
"මගෙ සුද්දී" සැම්සන් දයාබරව සන්ධ්‍යාව ඇමතුවේය.
සන්ධ්‍යා දුවන්නට දෙපා ඔසවන්නට තැත් කළා පමණි.
මේ අර දලුක් කැලයේ දැවැන්ත දිවුල් ගහ යටමය. පසන් මධුශංක විසින් පුළුන් තොටිල්ලක් තනා, ඒ මත හොවා අනුරාගයෙන් නැළවූ ඒ දිවුල් ගහ යටමය. පසන් මධුශංක සංවරය. සිඹිමින්, බදා ගනිමින්, ඇල්ලීමෙන් පමණක් එම හමුවීම් අහවර වන්නේය. තොත්තුවක් දී වෙන් වන්නේය. එම මිහිර සන්ධ්‍යාට හොඳටම ප්‍රමාණවත්ය.
සැම්සන් බල්ලා!
අම්මා!!
ඇය ගෙදර දිව ගියේ ලේ තැවරුණු ගවුමද අතේ උණ්‌ඩි කරගෙන නිරුවතිනි. ඇය කෑ ගසාගෙන ගෙයි කඩුල්ල පැන්නාය. බිම වැටුණාය. අම්මේ. කියා කෑ ගැසුවාය.
"නාඩා කියපං. මොකද වුණේ..?"
හෝරාවකට පමණ පසු අම්මා ඇසුවාය. ඇය මෙතෙක් වේලා සිහිසුන්ව සිටියාය. මැතිරිල්ලත්, දෙහි කැපීමත්, ඇප නූල් දැමීමත් පසුවට කල් තබා තිබිණි.
සන්ධ්‍යා සෙමෙන් දැස් පියන් පත් හැරියාය. කුප්පි ලාම්පුවේ දැල්ල ඇරුණු කොට මුළු කාමරයම කළුවරය.
" කියපං මයෙ දුවේ. උඹට මොකද වුණේ.."
අම්මාගේ දැස් දාරක ප්‍රේමයෙන් උතුරා යමින් තිබිණ, අම්මෙකුගෙ ජීවිතය සමග කඳුළ මොනතරම් බැඳිලඳ .... කඳුළක් නොසැලෙන අම්ම කෙනෙක් මේ සක්‌වල ගල තුළ වෙද්ද.. අම්මලා පෙවූ කිරට වඩා දහස් ගුණයක් කඳුළු සලනවා නොවේද. ඒත් මේ අම්මගෙ නිරන්තර කඳුළු මවන්නිය තමා වීම ගැන සන්ධ්‍යා පසුතැවුණාය.
"අම්මා"
"ඔව් පුතේ.. කියපං..... මොකද උණේ පුතේ..?"
"අම්මා .. සැම්සන්..."
හේරස් හාමිගේ ඉහේ දස දහස් ගණන් බක්‌මහේ අකුණු එක පිට එක පිපිරී ගියේය. සීලියා හාමිනේ සැම්සන් විසින් උරා හප කළ දමා තිබුණු සන්ධ්‍යාගේ පුංචි ළාමක, ළැම මත තම හිස ඔබා ගත්තාය.
* * * * *
"ආයිත් මාව බලන්න එපා."
සන්ධ්‍යා, පසන් මධුශංකට කීවාය. පසන් මධුශංක සන්ධ්‍යාගේ ඇඟිලි එකිනෙක ස්‌පර්ශ කරමින් සිටියේය. මහා කාලකණ්‌ණි බවකින් ජීවිතය පිරී ඇතැයි සන්ධ්‍යාට සිතිණි. ජීවිතයේ මිහිරෙන් අත්විඳිය යුතු අත්දැකීමක් අමිහිරෙන් විඳීමේ දුක්‌ඛ, සන්තාපය සන්ධ්‍යාගේ හිත ඔංචිල්ලාවේ එහාටත් - මෙහාටත් පැද්දෙයි. නිල් ගඟේ නේවි බෝට්‌ටු යන හඬ ඇසේ. කිඹුලෙකු විසින් මරා දමා තිබූ තවත් මිනිසකුගේ දේහයක් වට්‌ටියවල ප්‍රදේශයෙන් මතුවී තිබිණි.
ආචාර්ය කිඹුලා නොදැකීමද සන්ධ්‍යාගේ හිතේ වියවුල වැඩි කළේය. මේ බර ඔහුට කියා හිත නිදහස් කරගන්ට තිබුණා නම්..
"ඔයා මොනවද කල්පනා කරන්නේ"?
"මොකුත් නෑ. " මේ වනවිටදී සන්ධ්‍යාගේ කතා බහ මහ අම්මණ්‌ඩි කෙනකුගේ මෙන් වෙනස් වී ඇත.
"කෝ මං දුන්නු ඔරලෝසුව?"
මහදිවුල් ගහ යට පොර බදින විටදී ඔරලෝසුවේ වීදුරුව බිඳී ගියා සන්ධ්‍යාට මතකය. පැය කටුවද නැවී ඇඹරී ගියේය. එදින ගෙදර ඇවිත් සන්ධ්‍යා අව සිහියෙන් මෙන් කතුරක් ගෙන හම් පටියද කීතු කීතු වන්නට කපා දැම්මාය. ඇය ගවුම් සාක්‌කුවෙන් ඒ හෘදය සංවේදී, අපූරු සිහිවටනය ගෙන පසන් මධුශංක වෙත පෑවාය. "හරියට දැන් මං වගේ" සන්ධ්‍යා හැඬුවාය.
විශ්වවිද්‍යාලවලට නිවාඩු දුන්නේ නැත. එහෙත් අනධ්‍යන සේවක වර්ජනය විශ්වවිද්‍යාලවල සිසු සිසුවියන්ට නිවාඩුවක් නිර්මාණය කර දුන්නේය. පසන් මධුශංක ගම ආවේ එම නිවාඩුව නිසාම නොවේ. ඊටත් වඩා බැරෑරුම් කාර්යයකට බව සන්ධ්‍යාට වටින් ගොඩින් ආරංචි වී තිබිණි.
"අනේ පසන් නීති විරෝධී වැඩ කරන්න එපා.... පොලිසියෙන් ඌ හොයා ගනියි. නඩු දමයි. ඔයා ඕවට පැටලෙන්න එපා..."
* * * * *
සැම්සන්ගේ නිවෙස ගිනිබත්වී නැඟෙන දුම් රොටුව විඩෙන් විඩේ ආචාර්ය කිඹුලා සහ සන්ධ්‍යාගේ සංවාදයට බාධා කළේය. සන්ධ්‍යාට කැස්‌ස ආවේය. දුම් රොටුව නිල් ගඟ මතින් පාවී යන්නේ කිඹුලාවද අපහසුතාවට පත්කරමිනි. කිඹුලා වරින්වර දියේ එබෙන්නේ අර දුම් පහරින් මිදෙන්නටය.
"මට මහාචාර්ය පදවියක් ලැබුණා." කිඹුලා කීවේ කිඹුල් කොටුවට එහා සිට ය. කිඹුල් කොටුව දැන් ප්‍රතිනිර්මාණය වී ඇති බැවින් කිඹුලාට දැන් මෙහාට ඒමට බැරිය. කිඹුල් කොටුව ශක්‌තිමත්ය. අවශ්‍ය නම් තම දත්වලින් යකඩ කූරක් විකා කපා දැමිය හැකි බව කිඹුලාට විශ්වාසය. එහෙත් දැන් එහෙම කිරීමේ අවශ්‍යතාවක් නැත. සන්ධ්‍යාගේ මුහුණේ සිනාවකුදු නැත. ඇය පෙර සිටි කඩිසර, කටකාර, සෙල්ලක්‌කාර කෙල්ල නොවේ. පෙරදී ඇයට තිබුණේ ඔපෙරා කටහඬකි. එහි ගීතවත් බව පිරී තිබිණි. දැන් ඇය ඕනාවට එපාවට මෙන් තොල් සොලවනවා පමණි.
"මට මහා ජල විශ්වවිද්‍යාලේම අංශාධිපති පදවියක් හම්බ වුණා."
කිඹුලා සිතුවේ එම පණිවිඩයෙන් ඇය සන්තෝෂ වෙයි කියාය. ඇයගේ ඉරියව් වෙනස් නොවිණි.
"ඔයාට වෙච්ච කරදරේ මං දන්නව"
එවර සන්ධ්‍යාගේ ඉරියව් වෙනස් විය. ඇය හුන් තැනින් නැඟිට්‌ටාය. කිඹුල් කොටුව ළඟටම ගියාය.
"මං ගහපු ඔක්‌කොම පෝස්‌ටර් ටික ගලෝලා දැම්මා. මිනීමස් නොකන බවට දාහත් දෙනෙක් මාත් එක්‌ක ගිවිසුම් ගහල තිබුණා. මං පෙරේදා උදේ උං දාහත් දෙනා ළඟටම ගිහින් ගිවිසුම් ඉවරයි කියල ඒවා ඉරල දැම්මා. දැන් ඉතිං මිනීමස් නෙවෙයි අලි මස් උනත් කාපියව් කියල කිව්ව. උං බොහෝම සංතෝස උණා."
"එතකොට ඔයාගෙ මිනිස් සහජීවනය? සහසම්බන්ධතාවය? අම්මගෙ හීනෙ...?"
"ඒවා ඔක්‌කොම හීනයක් බවට පෙරළුණා...... ඒක නෙමෙයි මම ඔයාට තෑග්ගක් ගෙනාව.... මේ. න්"
කිඹුලා විසින් රතුපාට ලේන්සුව සන්ධ්‍යා වෙත දිගු කළේය. "දෙයියනේ..."
"මට පුදුම අපි මිනීමස් කන එක ගැන නෙවෙයි... ඇයි ඔයගොල්ලො මිනීමස් කන්න පුරුදු නොවෙන්නේ.?" කිඹුලා සන්ධ්‍යාගෙන් ප්‍රශ්න කළේය.
කිඹුලා සැබැවින්ම මහාචාර්ය පදවියකින් පිදුම් ලැබීමට තරම් සුදුසු ප්‍රඥවන්තයකු බව සන්ධ්‍යාට සිතිණි.
ඇය සම්පූර්ණයෙන්ම දැවී අළු වී ගිය නිවස දෙසට පියවර මැන්නාය. තවමත් දැල්වෙන ගිනි පුපුරු කිහිපයක් මතු කරගත් ඇය රතු පැහැති ලේන්සුව ගෙන එම අඟුරු මතට හෙලුවාය.
ගෝලාකාර තටාකය තුළ සුජාත දෙවන වතාවටද කරණමක් ගැසුවේය. ඉන් පසු තටාකයේ බිත්තියට පිටතින්, උදෑසන සිට ඇසෙමින් පැවැති වාදයට යළිත් සවන් දී සිටින්නට වූයේය.
“අන්න දුවත් පංති ඇරිලා එනවා... දැන්වත් ඔය බැණිල්ල නවත්තන්නකො අනේ...” මඳක් පහත් ස්වරයෙන් සහ අමනාපයෙන් එසේ කියනුයේ අම්මාය.
“ඉතිං...? කමක් නෑ එයත් දැනගත්තාට, තමුන්නෙ මහලොකු අම්මාගෙ තරම...” අප්පච්චි නම් හැම විටකම කතා කරනුයේ මෙසේය. සුජාතට දැනෙන්නට වූ නුරුස්නා බව පහ වූයේ, මෙතෙක් වේලා දිග හැරගෙන සිටි දෙපා යළි නමා, ගෝලාකාර තටාකයේ පියස්සට තදින් පහරක් දුන් පසුය.
“අම්මගෙ විතරක් නෙමෙයි, අප්පච්චිගෙ තරමත් දැනගත්ත නං තමයි හොඳ...!” අම්මා එසේ කියාගෙන ඉවතට පා නඟන අයුරු සුජාතට දැනිණි.
“මොකද්ද ගෑණියෙ උඹ කිව්වෙ..? ආයෙත් කියාපං බලන්න.. කඩනවා දත් වහල්ල.. දන්නවාද..?”
අප්පච්චිගේ වියරු හඬින් තම නුරුස්නා බව තවත් වැඩිව එන බව දැනුණද, දැන් මෙවන් දෑ අසා සිටීම තමාට එතරම් අපහසුවක් නැතැයි සුජාත සිතන්නට වූයේය.
“දැං වහල්ලක් නෑ නෙ...! ඉස්සරහ දත් දෙක කඩලනේ තියෙන්නෙ... ඉතුරු ටිකත් කඩනවා... තමුසෙට පුළුවං එච්චරයි නෙ... කඩනවා...” අම්මාද අද ලෙහෛසියෙන් අතහැරීමට සූදානම් නැති සේය.
“ඇයි, මොනවද යකෝ මට බැරි...?!”
අප්පච්චි හඬ නඟනුයේ ඈත සිට බව සුජාතට වැටහෙයි.
“ඒක මමද දන්නෙ...!”
“උඹ කියන්නෙ, මට බැරි හින්ද තමයි ඕක කොරගත්තෙ කියලද ගෑණියෙ...? ංහ්හ්...! කට බොරු කිව්වට දිව බොරු කියන්නෑ නෙ...! මං ඉවසනවා කියල හිතාපිය අර දුප්පත් කෙල්ල හින්ද...” අප්පච්චි එසේ කියාගෙන ඉවතට යන හඬ ඇසෙද්දී, සුජාතට මඳ අස්වැසිල්ලක් දැනෙන්නට විණි.
“ඔය හැකර කටට හොඳක් නං සිද්ද වෙන්න එපා... මේවා උඩ ඉන්න දෙයියොම බලාගත්තදෙං...! තමුසෙට හොඳක් නං සිද්ධ වෙන්න එපා, කුණු කතා කියනවාට...” අම්මා මහ හඬින් කියවමින් එහා මෙහා ඇවිදින අයුරුත්, ඒ අතර තවත් කිසිවකු ළංව එන පා හඬත් සුජාතට ඇසිණි.
“ඇයි අම්මේ..?”යි අසාගෙන ළං වන්නී සුජාතගේ අක්කාය. අම්මා නිහඬය.
“ඇයි අම්මේ..?” අක්කා තවත් ළංව එසේ අසන විට සුජාතට මහත් දුකක් දැනෙන්නට විණි. ඔහු තටාකයේ බිත්තියට හේත්තු වී අම්මා කුමක් කියනු ඇතිදැයි කන් දී සිටියේය.
“පංති ගිහිං ආව නං ගෙට ගිහිං ඇඳුම් මාරු කොරගන්නව... මේක අපේ කතාවක්... ඔයාට වැඩක් නෑ...” අම්මා අක්කාට සැර වෙනුයේ කුමක් නිසාදැයි නොවැටහුණද, සුජාත නිසලව තවදුරටත් අසා සිටියේය.
“අම්මලාගෙ වැඩේ ඉතිං, රංඩු වෙන එකයි, මට බණින එකයි නෙ...” අක්කා තරහින් එසේ කියමින් ඉවත යන අයුරු ඉන් පසු ඇසිණි. සුජාතට මෙවර තරහ ආවේ අම්මා සමගය. එහෙත් වහා එය තුනී වී, අම්මා කෙරෙහි දැරිය නොහැකි අනුකම්පාවක් ඔහුට දැනෙන්නට විණි. එය කෙතෙක් දැඩි වීද යත්, සුජාතට නිසලව සිටීමටද අපහසු විණි. හේ නැවතත් කරණමක් ගසා ඇලයකට හැරුණේය.
“හරි හරි.. පැහිච්චිකං තියෙද්දි ගිහිං කෑම කන්න... මං වතුරත් රත් කළා ඔයාට නාගන්න...” අම්මා අක්කාට යළිත් කියනුයේ සුපුරුදු සිහින් හඬින්මය.
“අනේ, මේ රස්නෙ මදිවාටද අම්මෙ උණුවතුර නාන්න කියන්නෙ...! මං ඇළට යන්න හිතුවෙ...” අක්කා ගෙතුළ සිට කියන හඬ නැවත ඇසෙයි.
“නෑ නෑ... මේ වැහැගෙන එන වෙලාවෙ ඇළේ නාන්න යන්නෑ. හෙම්බිරිස්සාව හොඳ වෙලා කී දවසද..! උණුවතුර තමයි නාන්නෙ.” අම්මා එවර කියනුයේ තදිනි. අක්කා කිසිවක් කියනු ඇතැයි සුජාතට සිතුණු නමුදු, ඉන් පසු වූයේ නිහඬ බවකි.
අම්මා දැන් සිටිනුයේ පුටුවක වාඩිගෙන බව සුජාතට වැටහෙයි. අප්පච්චිගේ හඬක් නොඇසෙයි. සුජාතට නිදිමතක්ද දැනෙයි. අම්මා සහ අප්පච්චිගේ මේ වාද කර ගැනීම් දැන් සුජාතට හොඳින් හුරුය. එහෙත් නොවැටහෙන එකම කරුණ නම් මෙසේ දිනපතා දබර කර ගැනීමට හේතුවයි. සුජාතට මතක ඇති මුල් දිනවල නම් අම්මාත් අප්පච්චිත් මෙසේ රංඩු වී නැත. එහෙත් බොහෝ සෙමින් දවසේ වැඩි වේලාවක් එකම කරුණක් ගැන කතා කරමින් සිටියහ.
“ඔයා කිව්වට, කොහොමද අනේ මං දුවට මූණ දෙන්නෙ...? මොන ලැජ්ජාවක්ද...!” ඒ අම්මා ය.
” දුව දැං ඉතිං පොඩි ළමෙක්යැ. එයාට ඕව ඉස්කෝලෙදිත් උගන්නනවානෙ.” අප්පච්චිගේ හඬ සන්සුන්ය.
“ඒක තමයි අනේ මාත් කියන්නෙ. එයාට මේවා තේරෙන හින්ද තමයි මට ලැජ්ජාවේ ඉන්න බැරි... ඔයාට තේරෙන්නෑ නෙ..”
“එයාගෙ පාළුවටත් එක්ක හොඳයි නෙ. ටික දවසක් යනකොට ඕවා හරියයි.” අප්පච්චි එසේ කියාගෙන ඉවත යන විටත් අම්මා කියනුයේ,
“එයාට දැං මොන පාළුවක්ද...! පාළුවෙං හිටපු කාලෙ නැතුව දැං මොකටද...! අනේ මොනොවහරි කරමුකො මේකට..” කියාය.
අම්මා පවසන කිසිවක් පිළිබඳව මුලදී සුජාතට අවබෝධයක් නොතිබිණි. එය අනුමානයෙන් හෝ සිතාගත හැකි වූයේ තවත් දින ගණනකට පසු, අම්මාත් අප්පච්චිත් වාහනයක නැගී කොහේ හෝ ගිය දවසකය. එතැනදී කලින් අසා නොමැති කටහඬක් අමනාපයෙන් මෙන් දිගු හෑල්ලක් කියනු සුජාතට ඇසුණේ අඩ නින්දේ සිටියදීය.
“නෑ නෑ.. මේ වෙලාවේ ඔයාලට කරන්න තියෙන හොඳම දේ තමයි, ලැබිච්චි දේ සතුටිං පිළිගන්න එක. ඔයාට තවම තිස්පහයිනෙ. නේද..? සමහරු බඳින්නෙත් තිස්පහ හතළිහ වෙලා... මේක ප්‍රස්නෙයක් වෙන්නැතුව මට බලා ගන්න පුළුවං... අපි එහෙම කරමු.”
“ ඒ වුණාට ඩොක්ට දුවටත් දැං දාහතරක් වෙනවා... ඒකයි අපි මෙහෙම තීරණෙයක් ගන්න හිතුවෙ.” අම්මා කියනුයේ බැගෑපත් ලෙසටය.
“මනුස්ස ජීවිත ගැන එහෙම තීරණ ගන්න එක සදාචාර විරෝධී වැඩක්... ලංකාවෙ නීතියෙන් නං කොහොමටත් බෑ... අනිත් එක මං ඒවා කරන කෙනෙකුත් නෙමෙයි නෙ.” නුහුරු හඬ ඇති තැනැත්තා එසේ කීවේ උදහසින් මෙනි. අම්මා දිගු සුසුමක් හෙළන හඬ සුජාතට ඇසුණේ තවත් මොහොතකට පසුවය.
“අනේ කීයක් ගියත් කමක් නෑ සර්. මේක කොහොමහරි කරල දෙන්නකො... සර්ට පිං සිද්ධ වෙනවා.” අප්පච්චි බැගෑපත් වූයේ ඊටත් මඳ වේලාවකට පසුවය.
“මිනීමරුවහම පිං සිද්ධ වෙනවාද මනුස්සෙයො..? බහුබූත කතා කොකිය දැං ගෙදර යනවල!ඔහොම දේවල් කළාම ඊළඟ ආත්මෙ ඔයිටත් වඩා අන්ත විදිහෙ දුක් විඳින්න සිද්ධ වෙනවා. මෝඩ වැඩ කතා කරන්න එපා. තේරුණාද..?” මෙතෙක් පහත් හඬින් කතා කළ තැනැත්තා උස් හඬින් සහ කෝපයෙන් කියනු ඇසුණේ එවිටය.
අම්මාත් අප්පච්චිත් ආපසු නිවසට ආවේ නිහඬවමය. එහෙත් නිවසට පැමිණි විගසම අප්පච්චි ගෝරනාඩු කරන්නට පටන් ගත්තේය.
“මේ ගෑනිගෙ වනචරකම හින්ද, මටත් ලැජ්ජාවේ ඉන්න විදිහක් නෑ. ඇහුණ නේද උඹට දොස්තර කියාපු එක...? බැල්ලි...!”
“වනචරකම...! කවුද වනචරකං කළේ..? නිකං සහගහන කතා කියන්න එපා... වනචරකං...!” අම්මා පුටුවක හිඳගත්තේ දැඩි කෝපයෙන් එසේ කියමිනි.
“කවුද කියල තමුං දන්නව ඇතිනෙ...!” අප්පච්චි කීවේ ඈතක සිටය.
“කට තිබුණු පළියට ඔහොම හෙණගහන කතා කියන්න එපා මනුස්සෙයො... මං වනචරකං කරනවා නං අර කෙල්ලට අවුරුදු දාහතරක් වෙනකං ඉන්න ඕනිද..? හෙණ හතම ගහන්න ඕනි ඔය කටට...” අම්මා කෝපයෙන් වුවත් පවසනුයේ පහත් හඬිනි.
“බොරුවක් කිව්වත් ඒක එළි වෙන්නැති විදිහට කියාපං ගෑණියෙ. උඹ කියන්නෙ එහෙනං, අවුරුදු විස්සක් බලා ඉඳල, උඩ ඉන්න දෙයියො තමයි මේක කරල දුන්නෙ කියලද...? උඹ හිතුවද මට අං තියෙනවා කියල..?”
“ඔය වාගෙ කතාවක් මගෙං අහන්න ලැජ්ජ වෙන්න ඕනි තමුසෙ... එහෙනං තමුසෙ මොනවද අවුරුදු විස්සක් තිස්සෙ කළේ...? පොල් ගෑවාද..?” අම්මා කෝපයෙන් වෙව්ලමින් ඇසූ පසු අප්පච්චි මඳක් නිහඬව සිටියේය.
“බලමු බලමු, ඔය ඉන්න එකා එළියට ආපු දවසක... හැමෝටම බලාගන්න පුළුවන්නෙ එතකොට උඹද හරි, මමද හරි කියල. එතකං මං ඉවසන්නං...” අප්පච්චි පරාජිත ස්වරයෙන් කීවේ ඈත සිටය.
“හරි බලමු” අම්මා කීවේ උජාරුවෙන් මෙනි.
එදා එසේ ඇරඹුණු වාග් සංග්‍රාමය සමහර දිනවල අම්මාට එල්ල වන පහර දීම්ද සමග, දිනපතා සිදු වන සාමාන්‍ය දෙයක් බවට පත් විණි. සුජාතට නිතර අම්මා ගැනත්, ඉඳහිට අප්පච්චි ගැනත් දුක සිතෙයි. නැවත අම්මා සහ අප්පච්චි පිළිබඳව තරහවක් ඇති වෙයි. අක්කා ගැන නම් සුජාතගේ සිතේ ඇත්තේ අප්‍රමාණ වූ ආදරයක්ම පමණකි. අක්කා කෙදිනකවත් කිසිවකුට සැරවැර කරනු සුජාත අසා නැත. ඉඳහිට අම්මා අසලට විත්, “මට ඉක්මනට මල්ලිව බලන්න ඕනි” කියා අක්කා හිනැහෙන විට, සුජාතටද සිනා පහළ වෙයි. ඉක්මනින් අක්කා බැලීමේ ආශාවක් ඔහුටද ඇත්තේය.
එක් උදෑසනක අප්පච්චිත් අක්කාත් පිටව ගිය පසු, නුහුරු අමුත්තෙක් නිවසට පැමිණ අම්මා සමග බොහෝ වේලාවක් කතා කරමින් සිටි අයුරු සුජාතට සිහි වෙයි. ඒ කතාබහෙන් කොටසක් ඔහුට හොඳින් මතකය.
“ඔයා කියන්නෙ හැම දේකම වැරැැද්ද මට විතරක් බාර ගන්න කියලද? හරිම අසාධාරණ කතාවක්නෙ!” අමුත්තා නුරුස්නා හඬින් කීවේ තරමක් ඈත සිටය.
“මං දැනගන හිටිය ඔයා ඔහොම කියනවා කියල.” බොහෝ වේලාවකට පසුව අම්මා පරාජිත හඬින් කීවේ දිගු සුසුමක් හෙළමිනි.
අමුත්තා නිහඬවම සිටියේය.
“තේ එකක් හදන්නද?” යි තවත් දිගු වේලාවකට පසු, අම්මා පුටුවෙන් නැගී සිටිමින් ඇසූ විට “නෑ එපා.. මං යනවා” යි කියාගෙන අමුත්තා ඉවත යන පා හඬ සුජාතට හොඳින් ඇසිණි.
අමුත්තා බැහැර ගොස් බොහෝ වේලාවක් යනතුරුම, අම්මා සුසුම් හෙළමින් සහ බර වූ නාසය උරමින් පුටුවෙහිම සිටි අයුරුද සුජාතට සිහි වෙයි. එහෙත් ඒ කුමක් නිසාදැයි සුජාතට නම් තවමත් අපැහැදිලිය.
තවත් එක් රාත්‍රියක තද නින්දක් ලබමින් සිටි සුජාත අවදි වූයේ අම්මා සහ අප්පච්චි දරුණු ලෙස දබර කර ගන්නා හඬ ඇසීමෙනි. හේ බියෙන් ගැහෙමින්, තටාකයේ මුල්ලකට වී, දෑත් සහ දෙපා ගුලි කරගෙනම සවන් දී සිටියේය.
“එතකොට තමුසෙ කියන්නෙ මේ ඔක්කෝම දේවල් අමූලික බොරු කියලද? ංආ..?” අම්මාගේ කටහඬ කෝපයෙන් වෙව්ලයි.
“උඹට පිස්සු හැදිලද ගෑනියෙ..? උඹ කියන ජාතියෙ ගෑනියෙක් අපේ ඔපිස් එකේ නෑ. උං ඔක්කොම කසාද බැඳපු, ළමයි ඉන්න ගෑනු. උන්ට මාත් එක්ක අතන මෙතන යන්න වෙලාවක් නෑ” අප්පච්චි දැඩි කෝපයෙන් වුවද, පහත් හඬින් පිළිතුරු දෙයි.
“එතකොට මේ ලියුම ලියල තියෙන්නෙ මොකාද? මේ තරං හොඳට දින වකවානුත් එක්ක..?”
“මං දන්නෙ කොහොමද ගෑනියෙ...? උඹ ඒක ලියාපු එකාගෙංම අහ ගනිං.”
“පුරුද්ද අත් අරින්න බෑනෙ අපි කිව්වට... අර කලින් හිටපු ගෑනිත් ගෙදර ගියේ ඔය වැඩ හින්දලු නේ.”
“අනේ මේ...! වහගනිං උඹේ හැකර කට... පත්තිනි අම්ම...” අප්පච්චි කෑගැසුවේ කිසිවක් පොළොවේද ගසමිනි.
“ඕකිට නං මං දේවාලෙයක් ගානෙ ගිහිං පළි ගහනවා. මේවා උඩ ඉන්න දෙයියොම බලා ගන්න ඕනි” යි කියා, දඩාස් ගා පුටුවෙන් නැගී සිටි අම්මා වේගයෙන් ඉවත යන අයුරු සුජාතට වැටහිණි.
“කියාපිය කියාපිය.. උඹට උඩ ඉන්න දෙයියොනේ හැම දේම කරල දෙන්නෙ. කියාපිය.” අප්පච්චි තරමක පහත් හඬින් කීවේ උපහාසයෙන් මෙනි.
ඊටත් දින කිහිපයකට පසුව එක් සවස් යාමයක අප්පච්චි අම්මා ළඟටම විත්, බොහෝ ආදරයෙන් මෙන් කතා කරන හඬක් සුජාතට ඇසිණි.
“ඩොක්ටර්ල කොහොම කිව්වත්, අපි සමන් දේවාලෙට ගිහිං බාරෙයක් වුණොත් නේද හොඳ? ඔය කකුල් දෙකත් හොඳටම ඉදිමිලා නෙ.”
“අනේ මං දන්නෑ. මටත් හරි බයයි මහත්තෙයා.” අම්මා කොඳුරනුයේ අපහසුවෙන් මෙනි.
“කෝකටත් අපි හෙට උදේම දේවාලෙට යමු. දුවත් එක්කම.”
“දුවට අනිද්ද විබහගෙ.”
“කමක්නෑ... දෙන්නටම බාරෙයක් වෙන එක හොඳයි.. මටත් මේ ටිකේ නින්ද ගියේම නෑ. ඔපිස් ගියත් කොයි වෙලාවේ කෝල් එකක් එයිද කියල බයේ ඉන්නෙ...”
මොහොතකට පසුව දිගු සුසුමක් හෙළා, අම්මා පහත් හඬින් පැවසූ වචන සුජාතගේ දෙසවන් තුළ තවමත් දෝකාර දෙයි.
“මං ඒක දන්නවා මහත්තෙය. ඇයි මේ ආදරේ හැමදාම තියාගන්න බැරි..?”
අප්පච්චි එයට නම් පිළිතුරක් දුන්නේ නැත.
සුජාතගේ අතීතාවර්ජනය බිඳුණේ අප්පච්චිගේ හඬ නැවතත් ඈතින් ඇසුණු හෙයිනි.
“පත්තිනි අම්ම මොකද සද්ද නැතුව වාඩි වෙලා ඉන්නෙ...? කියා ගන්න දේවල් නැතුවද?”
“නෑ මනුස්සෙයො, මට අමාරුයි...” අම්මා කතා කරනුයේ වෙනදා අසා නැති තරම් අපහසු හඬකිනි. සුජාතට මහත් බියක් දැනෙන්නට විණි.
“ඇයි මොකද?” යි පහත් ස්වරයෙන් අසමින් අප්පච්චි ඉක්මනින් අම්මාට ළං වන අයුරු ඔහුට ඇසිණි.
“මගෙ කොන්ද ආයෙ රිදෙනවා...” අම්මා සෙමින් පිළිතුරු දෙනුයේ පුටුවෙන්ද නැගී සිටිමිනි.
“මං කිව්වෙ ඔයාට... උදේ ඉඳල රෙදි බේසමක් හෝද හෝද දඟලන කොට...” යි අප්පච්චි පහත් හඬින් කියනුයේ අම්මා ආපසු පුටුවේ හිඳුවමින් බව සුජාතට වැටහිණි.
මොහොතකට පසුව, “ත්‍රීවීල් එකකට එන්න කියන්නද?”යි අප්පච්චි අසන හඬත්,
“ හ්ආ...”යි අම්මා කෙඳිරිගාන හඬත් ඔහුට ඇසුණේ සිහිනයකින් මෙනි.
යක්ෂයා
ගී ද මෝපසාන් ගේ කෙටි කතාවක්
ලලිත් කරුණාරත්න
මිය යන ගැහැණිය සිටි ඇඳේ දෙපස දොස්තර සහ ගොවියා හිඳ ගෙන සිටියෝය.
ඇය නිසලව එහෙත් හොඳ කල්පනාවෙන් යුතුව ඔවුන්ගේ සාකච්චාවට සවන් දුන්නාය.
මරණය පිළිගත් ඇය ඊට විරුද්ධ නොවෙමින් කෙමෙන් මිය යමින් සිටී. ඇයගේ කාලය
පැමිණ ඇත. දැන් ඇයට වයස අවුරුදු අනූ දෙකකි.
ජූලි මාසයේ රත් වූ හිරු ගේ කිරණ හොඳින් සකසා නැති මැටි පොළවේ වැටී රටා මවයි.
පරම්පරා හතරක පිටිසර මිනිසුන් පොලුවලින් තලා තනා ඇති ඒ මැටි පොළවේ, පැරණි
තාලයේ ඇඳේ ගොවියාගේ මව සැතපී සිටියාය. ඈත කුඹුරු වල ඉපනැළි සුවඳ, රත් වී
එන සුළං සමඟ කාමරයේ ජනේලයෙන් ඇතුලට එයි. පළඟැටියන් ඒකාකාරී ශබ්දයක්
ඇති කරන්නේ කුඩා දරුවන්ට සැණකෙළියකින් මිළට ගෙන දුන් නළා ශබ්දයක් වැනි
හඬක් ඇති කරමිනි.
දොස්තර ඔහුගේ හඬ පුබුදු කරමින් ගොවියාට මෙසේ කීවේය. ...“හොනොරේ බොන්ටෙම්ප්,
උබේ අම්මාව තනි කරලා එළියට යන්න උඹට බැහැ. ඇය ඕනෑම වෙලාවක මැරේවි”.
එහෙත් ගොවියා සිටින්නේ තදබල අපහසුතාවයකිනි. ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.
“ඒ වුනාට මම මගේ තිරිඟු ටික ගෙට ගන්න ඕනා”...”සෑහෙන කාලයක් ඒවා ඔහේ
පොළොවේ වැටිලා තිබ්බා”...”ඒවා ගෙට ගේන්න කාලය හරි”...” අම්මේ ඔබ මොකද
කියන්නේ?...
මියයන ගැහැණිය ඇසෙන් සහ නළලෙන් ඉඟි පාමින්, ඇයගේ පුතා කියන දෙයට එකඟ
වූවාය. එය “ගිහින් තිරිඟු කපපන්, මට තනියම මිය යන්න පුළුවන්’ සේ කිව්වා වැනි විය.
එහෙත් දොස්තර මේ අසා වියරු වී, අඩි පොළවේ හප්පා මෙසේ කීවේය. “උඹ තිරිසනෙක්ට
අන්තයි”... “උඹ මේක අහගනින්”... “උඹට මේ වැඩේ කරන්න මම ඉඩ දෙන්නේ නැහැ..
” අද දිනයේ උඹට තිරිඟු ගෙට ගන්න ඕනා නම්, ගිහින් රපෙට් නෝනා අම්මාව බලා කියා
ගෙන ඉන්න එක්ක ගෙන වරෙන්”...” මම කියන දේ ඇහුවේ නැත්නම්, වෙලාව ආවාම මම
උඹට බල්ලෙක් වගේ මැරෙන්න අරිනවා”...” උඹට මම කියන දේ ඇහුනද?
සිහින් උසැති, හෙමෙන් ගමන් කරන්නෙක් වූ හොනොරේ, දොස්තර කී දේ සහ තිරිඟු ගෙට
ගැනීමේ කාර්යය අතරේ තීරණයක් ගත නොහැකිව පැකිළුනේය. “රපෙට් නෝනා, ලෙඩෙක්
බලා ගන්න කොච්චර අය කරාවිද?..”...”මම දන්නේ කොහොමද මිනිහෝ? ඒක තීරණය
වෙන්නේ ඇය ලෙඩා බලාගන්න කාල සීමාව මතයි”...
දොස්තර මහතා ඔහු වෙත කඩා පැන්නේය. ...”දෙයියන්ගේ නාමෙට ඒක රපෙත් නෝනා
එකක බලා ගනින්”...” හැබැයි, තව පැයක් ඇතුළත ඒ වැඩේ කරන්න ඕනා”...” උඹට ඇහුනද?
...”හරි දොස්තර මහත්තයා, තරහා වෙන්න එපා, මම ඒක කරන්නම්”...දොස්තර නිවසෙන්
බැහැරට යන විට මෙසේ කියාගෙන ගියේය....”පරෙස්සම් වෙයන්, ...! සෑහෙන්න පරෙස්සම්
වෙයන්...!!, මට තරහා ගියාම මම විහිළු කරන්නේ නැහැ”... ගොවියා අම්මාට මෙසේ කීවේය. ..
”අම්මේ මම රපෙත් නෝනාව එකක ගෙන එන්න යනවා”...” එතෙක් ඔහොම ඉන්න”...
මැහැළිය හිස සැලුවාය.
රපෙත් නෝනා වයසක රෙදි සෝදන්නියකි. ඊට අමතරව ඇය කලේ අහළ පහළ සිටින
අසල්වාසීන්ගේ මිය යන අය බලා ගැනීමය. මිය ගිය කෙනෙක් ජීවත්ව සිටි කාලයේ කෙනෙක්
ඇඳි ලිනන් ඇඳුම ස්තිරික්කයෙන් හොඳින් මැද දීමද, ඒ තැනැත්තා මිය ගිය පසු එම ලිනන්
ඇඳුම් මිනියට ඇන්ඳීමද ඇය කලාය. එසේ ශරීරය මැහුම තුලටලා අවසන් වන ඇය එතනම
සිට අනෙක් පාරිභෝගිකයන්ගේ මැසීමේ යෙදේ. දෙකට නැමී කුදු වී සිටි ඇය, ගිය වසරේ
පළගත් ඇපල් ගෙඩියක් මෙන් රැළි ගැසී සිටියාය. ඇය කපටි, ඊර්ෂ්‍යා සහගත කෙනෙක් විය.
සමහර අය කියන විදියට ඇය අසාමාන්‍ය සේ, මිය යන අය සහ එම මිය යාමේ අරගළය ගැන
නොයෙක් කතා කීවාය. ඇය කතාකලේ ඇය ඉදිරියේ මිය යන අය සහ නොයෙක් ආකාරයේ
මරණ ගැන පමණි. ඒවා ඉතා සවිස්තරාත්මක සේ ඇය විස්තර කලාය. වෙඩික්කාරයෙක්
තමන් මැරූ සතුන් ගැන කියනවා මෙන් ඇය ඒවා කියා සිටියා. ඒවා දෙවතාවක් කිව්වද එහි
වෙනසක් තිබුනේ නැත.
හොනොරේ ඇයගේ නිවසට ඇතුල් වන විට ඇය ගමේ ගැහැණුන්ගේ ඇඳුම් වලට කැඳ දමමින්
සිටියා. ...”ශුභ සැන්දෑවක් රපෙත් අම්මා”..”ඔබ හොඳින් ඉන්නවා ඇතැයි මා විශ්වාස කරනවා”...
හිස හරවා හොනොරේ දෙස බැලූ රපෙත් නෝනා, ...”සාමාන්‍ය විදියට ඉන්නවා”...” ඔබට
කොහොමද? ...”ඔහ්, මම නම් හොඳින් ඉන්නවා, එහෙත් මගේ අම්මාට අසනීපයි”...”ඔබේ
අම්මා? ...”මොකද ඇයට වෙලා තියෙන්නේ?... හොනොරේ මෙසේ කිව්වේය. ...”අම්මා ගේ
පාද වල ඇඟිලි උඩට තියන්න කාලේ ඇවිත්”...
රපෙත් නෝනා කැඳ බාල්දියෙන් දෑත ඉවටට රැගෙන, ඉක්මන් දුකක් සිතට ගනිමින් මෙසේ
ඇසුවාය....”ඔය කියන තරම් ඇයට අසාධ්‍යද?...”ඔව්, දොස්තර කියන විදියට හෙට උදේ
වනතුරුවත් විශ්වාස නැහැ”... යන මුදළ ගැන එක වර අහන්න අකමැති හෙයින් තවත් කතා
කරන්න හොනොරේට අවශ්‍ය වුනද, කතා කරන්න වෙන විශේෂ දෙයක් නැති හෙයින්,
හොනොරේ හිත හදාගෙන මෙසේ ඇසුවේය.
...”ඇයගේ අවසානය වන තුරු ඇය අසල සිටිනවාට ඔබ කීයක් අය කරනවාද? ..”ඔබ දන්නවා,
මම එතරම් සල්ලි තියෙන කෙනෙක් නොවේ”... “මට වැඩකාරියක් තියාගන්න වත්කමක් නැහැ”...”
මගේ අම්මා මහන්සි වෙලා වැඩ කළා”...” ඒකයි අද මෙහෙම වුනේ”...” ඇය දහ දෙනෙක්ගේ වැඩ
තනියම කළා”...”කරදර සහ මහන්සිය නිසා ඇය ඇඳට වුනා”...”ඇය වගේ වැඩ කරන අය අද
හොයා ගන්න නැහැ”...
මහළු ගැහැණිය ව්‍යාපාරික කාන්තාවක් සේ හැඟීම් වලින් තොරව මෙසේ කීවාය. ...”ගණන්
දෙකක් තියෙනවා”... “මහත්වරුන්ගෙන්, සල්ලි ඇති අයගෙන් මම දහවල් කාළයට ෆ්‍රෑන්ක්
දෙකක් සහ රාත්‍රියට ෆ්‍රෑන්ක් තුනක් මම ගන්නවා”...”අනෙක් අයගෙන් මම දවාලට ෆ්‍රෑන්ක්
එකක් සහ රාත්‍රියට ෆ්‍රෑන්ක් දෙකක් ගන්නවා”... එහෙත් ගොවියා තමාගේ අම්මා ගැන වඩා
හොඳින් දනී.
ඇය ශක්තිමත් ගැහැණියක් විය. ඒ නිසා සමහරවිට අම්මා තවත් සතියක් පමණ ජීවත් වනු ඇත. ...
”නැහැ, එහෙම නොවේ”...” අන්තිම අවස්ථාව වන තුරු අම්මා බලාගන්නවාට ගාණක් කියන්න”...
” දොස්තර කියන්නේ, ඇය ඉක්මනින් මිය යයි කියලා”...” එහෙම වුනොත් එය ඇයට පාඩුවක්
වුනාට, ඔබට ලාබයක් වෙනවා ”...
රපෙත් නෝනා ගොවියා දෙස පුදුමයෙන් බැලුවාය. ගොවියා ඇයට බොරුවක් කරන්න හදනවාද,
එසේ නැතහොත් ඇත්තටම අඩු කාලයක් මියයන ගැහැණිය බලා කියා හිඳ, වැඩි ලාභයක් ගන්නට
ඇයට හැකි වේද යන්න ගැන මඳක් සිතා මෙසේ කීවාය. ...”මට මොකුත් කියන්න බැහැ, ඔබේ අම්මා
දකින තුරු”...”එහෙනම් මාත් එකක එන්න”...”ඇවිත් අම්මාගේ තත්වය බලන්න”... හොනොරේ කීවේය.
අත පිසදා ගත් ඇය, ගොවියා සමඟ යන්නට ලැහැස්ති වූවාය. ඔවුන් පාරේ කතාකලේ නැත. ඇය
කෙටි පියවරවල් තබමින් යන අතර, ගොවියා දිග පියවරවල් තබමින් දිය පහරවල් උඩින් යන්නා
මෙන් ගමන් ගත්තේය. ග්‍රීෂ්මය මඟ හරින්නට, කුඹුරු වල වැතිර සිටි එළදෙනුන් ඔවුන් දෙස හිස
ඔසවා බැලුවේ, අලුත් තණකොළ දෙන්නට කෙනෙක් එති යයි සිතනවා මෙණි.
ඔවුන් නිවසට ළඟාවන විට, හොනොරේ මෙසේ කෙඳිරුවේය. ...“ඔක්කොම ඉවර වෙලාද? එහෙත්
ඔහුගේ කෙඳිරීමේ එම අදහස ගැබ්ව තිබිණ.
නමුත් වයෝවෘද්ධ මැහැළිය මිය ගොස් සිටියේ නැත. ඇය උඩුපෙළි අතට ඒ අපහසු ඇඳේ දුක්මුසු
සේ වැතිර සිටියාය. පොරෝනාවෙන් ඇයගේ අත් වැසී තිබුනද, ඒ කෙට්ටු කෝටු අත් දැකීම දුක්මුසු
දර්ශනයක් විය. ඒවා ඉතා සිහින් විය. අපහසු ආකාරයේ වැඩ කල ඕනාවට වඩා වෙහෙස වූ ඇයගේ
අත්, අමුතු සතෙක් ගේ මෙන් නහර ගැට ගැසී කොරව නිසලව තිබුනේ, ශත වර්ෂයකට කිට්ටු
කාලයක් ඇය කල වැඩ වලට සමු දෙන්නාක් මෙන් විය. රපෙත් නෝනා මිය යන මැහැළිය හොඳින්
පරීක්ෂා කළාය. ඇයගේ හෘද ස්ඵන්දනයට සවන් දුන්නාය. පපුවට තට්ටු කලාය. ඇය මැහැළිය
අමාරුවෙන් හුස්ම ගන්නා හඬට සවන් දුන්නේ, මැහැළිය කතා කරනවා මෙන් සිතාය.
මෙසේ මැහැළියව නොයෙක් ආකාරයෙන් පරීක්ෂා කල ඇය, අද දින රාත්‍රියවත් ඇය ජීවත් වන්නේ
නැතැයි නිගමනය කලාය. ...”ඉතින්? ...”ඔබ මොකෝ කියන්නේ?... ගොවියා ඇසුවේය. රපෙත් නෝනා
මෙසේ කිව්වාය. ...” ඇය තව දින දෙකක් හෝ තුනක් විතර වුණත් සිටීවි”...”ඔබ මට ඒ සඳහා ෆ්‍රෑන්ක්
තුනක් දිනකට ගෙවන්න ඕනා”...
...”මොනවා?...”ෆ්‍රෑන්ක් තුනක්? ...ෆ්‍රෑන්ක් තුනක්? ...ගොවියා මහ හඬින් කෑ ගැසුවේය. ..”රපෙත්
නෝනාගේ මොළේ හොඳ නැද්ද? ..”ඇය තව පැය පහ හයකට වඩා ජීවත් වන්නේ නැහැ”... ගාණ
හෙට්ටු කර ගැනීමට, ඔවුන් තදින් වාද කලෝය. එහෙත් රපෙත් නෝනා, ඇයගේ මතය වෙනස් කලේ
නැත. ඇය ගෙදර යනවා යයි ගොවියාට තර්ජනය කලාය.
කුඹුරේ ඇති තිරිඟු ඉබේම කැපී නිවස බලා එන්නේ නැති බව ගොවියා සිතුවේය. අවසානයේ ඔහු ඇය
කියූ මුදළට එකඟ විය. එහෙත් ඔහු මෙසේ කීවේය....”බොහොම හොඳයි, ෆ්‍රෑන්ක් හයයි”...”මිනිය එළියට
ගන්නා තුරු ඔබ ඉන්න ඕනා”... එය හෙට්ටු කිරීමේ අවසානය විය. දෙදෙනාම මේ සම්මුතියට එළඹිණි.
අව්වේ වේලි වේලි තිබුණු තිරිඟු දෙසට ගොවියා ගමන් කලේය. සාත්තුකාරිය තම ගෙදර බලා ගමන්
ගත්තාය. ඇය නැවත ගොවියාගේ නිවසට පැමිණියේ ඇඳුම් ගොන්නක් රැගෙනය.
රපෙත් නෝනා මිය යන කෙනෙක් බලා ගන්නට පැමිණි අවස්ථාවක වුවද කාලය අපතේ හරින කෙනෙක්
නොවීය. මිය යන්නා ගේ ඇඳ අසල සිට ඇය අයගේ වැඩ හෝ කුලියට ගත් වැඩ කිරීම ඇගේ සිරිත විය.
හදිසියේ ඇය මහන හැඳුමෙන් හිස හරවා මැහැළිය දෙස බැලූ රපෙත් නෝනා මෙසේ ඇසුවාය.
...”අන්තිම දේව වරප්‍රසාදය ඔබට ලැබුණාද අම්මේ ? මහළු ගැහැණිය නැහැ යයි කියන්නට, අපහසුවෙන්
හිස සැලුවාය. එවිට ශ්‍රද්ධාවන්ත උපාසිකාවක් වූ රපෙත් නෝනා උඩ පැන; ...”දෙයියනේ, ඒ කොහොමද?
මම දැන්ම පල්ලියට ගිහින් පූජකතුමාව රැගෙන එන්නම්” ... කියා ඇය වහ වහා නිවසෙන් එළියට බැස
දුවමින් මෙන් ගමන් ගත්තාය. ඇයගේ ගමන දැක, පාරේ සෙල්ලම් කරමින් සිටි ළමයින් සිතුවේ කොහේ
හෝ අනතුරක් වී ඇත කියාය.
රපෙත්ගේ ඉල්ලීම පිට, පූජකයා ලහි ලහියේ හොනොරේගේ නිවස බලා යන්නට පිටත් විය. නිසළ
ගම්මානයේ කුඹුරු හරහා වැටී ඇති පටු මාවත් හරහා ඇවිද ගිය සුදු පැහැ ලෝගුවක් හැඳි පූජකයා
ඉදිරියේ, සම්ප්‍රදානුකූල සිරිත අනුව පිරිමි ළමයෙක් සීනුවක් හඬවමින් ඇවිද ගියේය. දෙවියන් වහන්සේ
මැවූ ශරීරය, නොබෝ දිනකින් සාමකාමී පිටිසර ගම්මානය හරහා සොහොනට ගෙන යන බව එයින්
කියැවිණි. ඈත වැඩ කරමින් සිටි ගොවියෝ, ඔවුන්ගේ වැඩ මඳකට නවත්වා හැඳ සිටි තොප්පි ඔසවා
පූජකයා ඔවුන්ගේ දර්ශන පථයෙන් ඈත්වන තුරු නිසලව හිඳ ආචාර කලහ. ලියැදි වල තිරිඟු නෙළමින්
සිටි ගැහැණු එය නවත්වා කුරුස ලකුණ සටහන් කලහ.
ලියැද්දක බැඳ සිටි පෝනියෙක් අශ්වයෙක් මේ පිරිස දැක හේසාරාවය කරමින් කලබලව උඩ පනින්නටත්
දඟලන්නටත් පටන් ගත්තේය. පෝනියා කොතරම් පූජකයාට බය වුනේද යත්, ඌ දැඟලූ තැන මඩ වළක්
මෙන් මඩ විය. පූජකයා ඈතට ගමන් කරමින් සිටියද, බිය පත් වූ කිකිළියක් පාර හරහා දුව ගොස් ඇය
සැඟව සිටින තැනට ලඟා වූවාය.
රතු කබායක් හැඳ පූජකයාට පෙර ගමන් කල ළමයා ඉක්මනින් ගමන් කලේ යාඥාවක් කියමිණි. පූජකයාද
හතරැස් හිස් වැසුමක් හිස ලාගෙන, මුහුණ පැත්තටකට හරවා ගෙන යාඥාවක් තෙපළමින් ගමන් ගත්තේය.
රපෙත් නෝනා මේ දෙදෙනාටම පසුව පල්ලියේ සිටිනවා මෙන් අත් බැඳ ගෙන බොහෝ ආගමානුකූල
වේශයක් ගෙන ගමන් ගත්තාය.
මේ පිරිස දුටු හොනොරේද, ...”අපේ පූජක තුමා කොහෙද යන්නේ ? කියා ඇසුවේය. ඔහු සමඟ සිටි, වඩා
ඥාණවන්තවූ පිරිසේ කෙනෙක් මෙසේ කීවේය....”පූජකතුමා ඔබේ අම්මාට සැක්‍රමේන්තුව ගෙන යනවා”...
ගොවියා පුදුම වූයේ නැත. ...”ආ වෙන්න පුළුවන්” ... ඔහුගේ පිළිතුර විය. ඉන් පසු ඔහු සාමාන්‍ය ආකාරයට
ඔහුගේ වැඩේ යෙදින.
මැහැළිය පාපොච්චාරණය කළාය. පාරිශුද්ධ බව සහ දේව වරප්‍රසාදය ලබා ගත්තාය. පූජකයා නැවත පසු
ගමන් ගත්තේය. ගැහැණු දෙදෙනා ඒ වාතය හිරවුණු කුඩා කාමරයේ තනි වූහ. රපෙත් නෝනා, මැහැලිය
දෙස බලමින්, තව කොපමණ දවසක් ඇය ජීවත් වේදැයි සිතුවාය. දවස ගෙවී ගොස් ඇත. දහවළ හැමූ
උණුසුම් වියළි වාතය වෙනුවට දැන් සීතල සුළං හමයි.
වෙල් යායෙන් එන සීතල සුළං පහර වැදී බිත්තියේ එල්ලා ඇති පින්තුරයක් සෙලවේ. කලක් සුදු පැහැයට
තිබුණු ජනේලයේ තිර රෙදි කහ පැහැ ගැන්වී ඇත. සුළඟ නිසා ඒවා පියාඹනවා මෙනි. හරියට මිය යන
ගැහැණියගේ ආත්මය, ඇගේ සිරුරෙන් බැහැර වෙන්න හදනවා මෙනි.
නොසෙල්වී සිටින මැහැල්ලගේ ඇස් ඇරී ඇත. ඇය දොරෙන් එහා ඈත ක්‍ෂිතයේ අනනන්ත දුරට විහිද යන
තිරිඟු වෙල් යාය දෙස බලා සිටින්නේ, අසළ ඇති මරණය කුමක් නිසා ප්‍රමාද වෙනවාද අසන ලෙසිණි.
උගුරේ හිරවුණු ඇයගේ කෙටි සුසුම් වලින් සමහර විට නළාවක මෙන් හඬක් ඇසුණි. ඉක්මනින් එය
නැවතිය හැක. ලොවට තවත් කෙනෙක් නැතිවුනද, කිසි කෙනෙක් ඒ ගැන දුක් වන එකක්ද නැත.
රාත්‍රී කාලයේ හොනරේ ගෙදර ආවේය. මව සිටින සයනය වෙත ගොස් ඇය තවමත් ජීවත් වෙනවා දැක
රපෙත් නෝනා ගෙන් ඔහු මෙසේ ඇසුවේය. ...”ඇයට දැන් කොහොමද?... “ ඒ විදියම තමා”...රපෙත් නෝනා
පිළිතුරු දුන්නාය. “හෙට උදේ පහට එන්න”...”පහට එනවා, ...රපෙත් නෝනා පිළිතුරු දුන්නාය.
ඇය පසු දිනය ආරම්භයේදී පැමිණි විට හොනරේ තමා විසින්ම හදාගත් සුප් බඳුනක් හිස් කරනවා දුටුවාය.
ඇය හොනරේගෙන් මෙසේ ඇසුවාය. ...”ඉතින්, ඔබේ මව මිය ගියේ නැද්ද? ...”ඇත්තටම අනෙක් අතට ඇයට
තරමක් සුවය ලැබිලා වගේ”...ඔහුගේ ඇසෙහි කොණක කපටි කමේ සේයාවක් තිබිණ. මෙසේ කියමින් ඔහු
කාමරයෙන් පිට විය.
රපෙට් නෝනා මහත් වික්ෂිප්තව මිය යන ගැහැණිය දෙස බැලුවාය. ඇය තවමත් සිටින්නේ මුල් තත්වයෙනි.
හැඟීම් විරහිතව ඔහේ අලස පෙනුමෙන් යුතුව ඇය ඇඳේ වැතිර සිටී. මේ දුටු රපෙත් නෝනා, ඇය මේ විදියට
සිටියහොත් තවත් දින දෙකක්, හතරක් පමණක් නොව, දින අටක් වුවද ජීවත්ව සිටිනු ඇතැයි සිතුවාය.
ඇගේ කෑදර සිත බියෙන් පිරුණි. ඒ අතර ඇයව රැවටූ කපටි ගොවියා සහ, සිතු තරම් ඉක්මනින් මිය නොයන
ගැහැණිය කෙරේ ඇයට ඇති වූයේ මහත් කෝපයකි.
කෙසේ වුවද ඇය මැහැළිය දෙස ඉඳ හිට හොරෙන් බලමින් වැඩ කරන්නට පටන් ගත්තාය. හොනරේ උදේ
ආහාරය ගන්නට එන විට, ඔහු සතුටින් පසුවිය. ඔහු හිතුවාටත් වඩා හොඳින් තිරිඟු අස්වැන්න එකතු
කිරීමේ කාර්යයේ යෙදුණි. රපෙට් නෝනාගේ සිත දැන්, කම්මලක් වැනි විය. ඇය තරහෙන් පිපිරෙමින්,
මේ කාලකන්ණි මැහැළිය ජීවත් වන සෑම විනාඩියක්ම ඇයට වන අලාභය ගැන සිතුවාය. මේ ඇට්ටර
නාකි ගැහැණිය, ඌරු හිසක් ඇති මේ මැහැළිය ගේ සුවාසය, බෙල්ල මිරිකා සදහටම නවත්වා දමන්නට
ඇයට ක්ෂණික සිතක් පහළ වූවද, එහෙත් එයින් ඇති විය හැකි අනතුරුදායක තත්වය ගැන සිතුවාය.
මේ අතර ඇගේ සිතට අනෙක් සිතුවිල්ළක් ඇයට පැමිණියාය. ඇඳ අසළට ගිය ඇය මැහැළියගෙන් මෙසේ
ඇසුවාය. ...”ඔබ යක්ෂයා දැක තිබේද?
මැහැළිය ‘නැහැ’ යන්න පෙන්වන්නට හිස නමින් කුඩා කෙඳිරියක් ඇති කලාය. දැන් රපෙත් නෝනා,
යක්ෂයා ගැන කතා දුර්වල මනසක් ඇති මැහැළියට මෙසේ කියන්නට පටන් ගත්තාය. ..”මිය යන්නට
විනාඩි කීපයකට පෙර යක්ෂයා එන්නේ මෙහෙමයි”... ”යක්ෂයාඅතේ කොස්සක් තියෙනවා”...” හැළියක්
ඔහුගේ හිසේ නවා ගෙන ඉන්නේ”...”ඔහු මහා විශාල ශබ්ද ඇති කරනවා”...”කව්රුන් හෝ ඔහුව දුටුවොත්,
එය ඒ දුටු කෙනාගේ අවසානයයි”...
ඉන්පසු ඇය පසුගිය වසරේ යක්ෂයා දුටු අයගේ නාමාවළියක් ඇය කියාගෙන ගියාය. “ජොසපින්’ , ඉයුජින්’,‘
රැටියර්’, ‘සොෆී’, ජෝන්, ජෙෆ්රි ... මේ නාමාවළිය කියාගෙන යන විට, බිය පත් වූ මැහැළිය ඇයගේ උපරිම
ශක්තිය යොදමින් කාමරයේ අනෙක් කොන දෙස බලන්න උත්සාහ ගත්තාය. මේ අතර රපෙට් නෝනා
හදිසියේම ඇඳ අසලින් ඉවත්ව ගියාය.
ඇය අල්මාරියෙන් පොරෝනාවක් ගෙන, ඇඟ වටා ඔතා ගත්තාය. කකුල් තුනක් ඇති යකඩ සාස් පාන මුනින්
නවා ඔළුව උඩ තබා ගත් ඇය දැන් පෙනෙන්නේ අන් තුනක් ඇති සතෙක් මෙනි. කොස්ස දකුණු අතට ගත්
ඇයගේ, වමතේ තිබුනේ බඳුන් වැසීමට ගන්නා විශාල යකඩ පියනකි. ඇය කාමරයේ දොර අසලට ගොස්,
මැහැලිය දෙසට ඒ පියන විසි කළාය. පියන බිම වැටෙන විට මහා ශබ්දයක් ඇති විණ. ඊළඟට ඇය කලේ
පුටුවට නැගීමයි. නොයෙකුත් විකාර ශබ්ද ඇති කරමින් උඩ පැන්නාය. කොස්ස උඩ දමමින් විකාර
රැඟුමක් පෑවාය.
අපමණ භීතියකින් වෙළුණු මැහැළිය, විශාල දිරියක් ගෙන නැගිටින්නට උත්සාහ කළාය. ඇය සිහින් දඬු
වැනි අත් දෙකෙන් ඉස්සෙන්නට උත්සාහ කලාය. ඇය උරහිස් යන්තම් ඔසවා ගත්තද, ඇය හුස්ම තදවීමෙන්
නැවතත් ඇඳ මතටම ඇද වැටුනාය. ඒ ඇයගේ අවසානය විය.
රපෙට් නෝනා බොහෝ ශාන්තව ඒ සියළු දේ තිබුණු තැන් වලින්ම තිබ්බාය. පොරෝනාව අල්මාරිය ඇතුළේද,
සාස් පාන කුස්සියේ රාක්කය මතද, යකඩ පියන කුස්සියේ මුල්ලකින්ද තැබුවාය.
දැන් සම්ප්‍රදාය අනුව, භීතියෙන් මුව සහ ඇස් විවර වී තිබුණු මැහැළිය ගේ දේහයේ ඇස් සහ කට වසා දැමුවාය.
මල් කිනිත්තක් කඩා, එය දැමූ ශුද්ධ වූ ජලය ඇති පීරිසියක් දේහය අසළ තබා, දේහය අසල දන ගසා ගෙන
ඇයගේ වෘත්තියට ගැලපෙන අයුරෙන් මළවුන් සඳහා වූ යාඥාව ඕනාකමෙන් සහ ගෞරවණීය අයුරෙන්
කියන්න පටන් ගත්තාය.
හොනරේ හවස් යාමයේ පැමිණෙන විට, යාඥා කරන රපෙත් නෝනා දැක ඇයට ගෙවිය යුතු මුදළ කුමක්දැයි
ගණන් බැලුවේය. ඇය අම්මා බලාගෙන ඇත්තේ දහවල් තුනක් සහ රාත්‍රියක් පමණි. ඒ අනුව ඇයට ලැබිය යුතු
ගණන ෆ්‍රෑන්ක් පහකි. එහෙත් පොරොන්දුව පරිදි ඇයට ෆ්‍රෑන්ක් හයක් ගෙවිය යුතුව තිබිණ.
රැස පුවත්පතින්
ම්ම්ම්... අවුරුදු හතරකට විතර කලින්...
ඔව්... දෙදාස් දහතුනේ ඔක්තෝබර් තමයි අපි කෝස් එකට ලියාපදිංචි වුණේ. අයි.ටී. සතී ආවේ තලාහේනේ ගෙදරක නතර වෙලා. ඒ, ගෙදර උඩ තට්ටුවේ කාමරයක් තවත් ගෑනු ළමයි දෙන්නෙක් එක්ක බෙදාගෙන. කෝස් එක ඉවර වෙලා මාස හය හතකට පස්සෙ තමයි එයාට ජොබ් එක හම්බ වුණේ. මම එතකොටත් වැඩ. අවුරුද්දකට විතර පස්සෙ තමයි ‘ඇලුකොප්’ එකට ආවෙ.
නෑ... ගෙදර ඇහැලියගොඩ... කිව්වට ඇරෑපොළ.
ඒ පාර සතී කොස්වත්තෙ පයිප්ප පාරෙ ගෙදරක නතර වුණා. ඒත් එතන මිනිස්සු කැමති වුණේ නෑ මං නිතර ගිහිං එයාව හම්බවෙනවාට. අපි ඒ දවස්වල හම්බවුණේ යන එන ගමන් අතරමඟදි. පස්සෙ එයා මෙතන හොයා ගත්තා. මෙතන හොඳයි කියලා මාත් කිව්ව. කලින් තැන වදුලක් වගේ. ලොකු කොස්ගහ හින්ද එළියක් වැටුණෙ නෑ. කාමරේ තෙතයි, පුස් ගඳයි කියල සතී අප්පිරියාවෙන් හිටියෙ. මෙතනට හොඳට ඉර එළිය වැටුණා. වටේට අලුත් ගෙවල්.
නෑ... මම සල්ලි දුන්නෙ නෑ. සල්ලි තිබුණෙ නෑ මාස හයක ඇඩ්වාන්ස් ගෙවන්න. එයා කාගෙන් හරි... පුංචි අම්මාගෙන්ද කොහෙද... සල්ලි ඉල්ල ගත්තා කියල මාත් එක්ක කිව්ව. ඒක ටික ටික ගෙවනවා කියල කිව්ව. ඒත් ගෙවුවාද මම දන්නෑ. ‘ප්‍රයිම්’ එකේ තමයි සතී දිගටම වැඩ කළේ. පයිප්ප පාරෙ ගෙදරට එයා කියල තිබුණෙ මම ගමේ නෑකෙනෙක් කියල. ඒ වුණාට ඒ මිනිස්සු ඒක බොරුවක් කියල දැනගන්න ඇති. මේ ඇනෙක්ස් එකේ ආන්ටිට අපි බැඳල කියල බොරුවක් කියන්න මම කැමති වුණේ නෑ. ඒත් සතී කිව්ව එහෙම නොකිව්වොත් කලින් වගේම වෙයි, ඊට හොඳයි කසාද සහතිකේ ඉල්ලන්නෙ නෑනෙ, එහෙම කියමු කියල.
නෑ... ඇත්තටම එහෙම නෑ... එහෙම පොරොන්දුවක් අපි අතරෙ තිබුණෙ නෑ. අපි ආස්සරේ කළා.
... කිට්ටුවෙන් කියන්නෙ... එයාට වෙන කවුරුත් හිටියෙ නෑ. අපි ගැන ගෙවල්වලට කියනවට සතී කැමති වුණේ නෑ. ඒ ප්‍රශ්නෙ ඔළුවෙ කැක්කුමක් කියල තමයි සතී කිව්වෙ. මම ගෙදරට කියල තිබුණෙ යාළුවෙක් එක්ක බෝඩිං කාමරේක ඉන්නව කියල. සතියට දවස් තුනක් විතර... සමහරක් සතිවල සතියම වගේ හිටිය. එයා මං යනවට කැමති වුණේ නෑ. වීක්එන්ඩ් එකේ දෙන්නාම ගෙදරවල්වලට ගියා. මම කොට්ටාවෙන් එයාව බස්සල බස් එකේ නගින කල් ඉඳල අපේ ගෙදර ගියා. කටුබැද්දෙ. මුලින් තිබුණෙ පරණ සී.ඩී. නයින්ටියක්. ඒක විකුණල මේ ජයිව් එක ගත්තෙ ගෙවන්න. අපි මේකෙන් ගමන් ගියා කොච්චරවත්. ඒත් ඇරෑපොළ එයාගෙ ගෙදර ගියෙ නෑ එක වතාවක්වත්. මම යමුද අහල තියෙනව. ඒත් එයා කැමති වුණේම නෑ. මාත් බල කළේ නෑ.
ඔව්... ඒ ගෙදර තොරතුරු මට කියල තිබුණෙ. තාත්ත වයිල්ඩ් ලයිෆ් එකේ. ඈතක රස්සාව කළේ. අඩවි වන නිලධාරි කෙනෙක්. ගෙදර නෑ. නංගි ඇහැළියගොඩ සෙන්ට්‍රල් එකේ උසස් පෙළ කරන්නෙ. එයා ගැන තමයි නිතර නිතර විස්තර කිව්වෙ. අම්මට හතිය. බේත් ගන්න වෙද මහත්තයෙක් ගාවට යනව කිව්ව. මාසෙකට සැරයක්. ගෙදර ගියාම එයත් එක්ක.
නෑ... කවදාවත් නෑ. දවසක් ආන්ටි නම් ඇහුව තමයි මොකක්ද සද්දයක් ඇහුණේ කියල. එතකොට තමයි අපිත් බැලුවෙ කුස්සියට ගිහිල්ල. අපි හිතුවෙ මීයෙක් පිඟානක් පෙරළලදවත් කියල. අපි කිව්ව සද්දයක් එන්න මුකුත් වැටිල එහෙම නෑ කියල.
ඔව්... ඇහුව තමයි. නළල මොකද කියල. ගෙදර ගිය වෙලාවෙ ළිඳ ළඟ ලිස්සල වැටිල තමයි එහෙම ගෙඩි ගැහිල තිබුණෙ. සතී ඒක කිව්ව. ඒක වෙලා එතකොට සතියක්. නෑ... දවස් දෙක තුනක් ඇති. ඒකට බාම් ගෑවට අඩු වුණේ නෑ.
ඔව්... හැසිරුණා. ඒත් ආරක්ෂා වෙලා. එයා එහෙම නැතුව ඉඩ දුන්නෙ නෑ.
නෑ... පෙති ගත්තෙ නෑ. අනාගතේ දරුවෙක් ලැබෙනකොට ප්‍රශ්න ඇති වෙනව කියල ඒකට එයා කැමති වුණේ නෑ.
ඔව්... ගත්තා මම. පිරිමි කවුරු හරි පේන්න ඉන්න පාමසි එකකින් බලලා ගත්ත.
නෑ... නෑ... එයා ගත්තෙම නෑ. මම ගත්තා.
සල්ලි ප්‍රශ්න ඇති වුණේ නෑ. අපි තේ හදාගත්ත විතරයි. ගෑස් කුකර් එක තියෙනව. පුංචි සිලින්ඩරෙයි. ඒ වුණාට ඉව්වෙ නෑ. කඩෙන් ගෙනල්ල කෑම ගත්ත. සමහරදාට ඔම්ලට් දා ගත්ත. සැමන් ගෙනැල්ල සම්බෝල හදල පාන් කෑව. බත් ඉවුවෙම නෑ. ආන්ටි දවසක් සතීගෙන් අහල තිබුණ උයන්නැද්ද කියල. කරදර හින්ද ඉන්න දවස් ටිකේ කඩෙන්ම තමයි කෑවෙ. දවාලට කැන්ටිමෙන්.
මම... සමහරක්දාට කෑම ගේන්න කියල සල්ලි එයත් දුන්න. ප්‍රයිඩ් රයිස් හරි කොත්තු හරි පරාටා හරි ගෙනාව. බයික් එකට ගෙවන්න දෙතුන් ගමනක් මගේ අතේ සල්ලි නැතුව එයා දුන්න. ගෙදර යනකොට ඕනකම්වලට මගෙනුත් සල්ලි ඉල්ලගෙන තියෙනව. සමහර වෙලාවල්වල පෙට්ට්‍රල් ගහන්නත් එයා සල්ලි දෙනව. ඒ ඒ වෙලාවල... මට මතකත් නෑ.
ඊයේ වුණේ... ඔළුවෙ කැක්කුමයි කිව්ව. උදේ මම ඔෆිස් යන්න ලෑස්ති වෙනකොටත් එයා නිදාගෙන හිටියෙ. මම ඇහුව යන්නැද්ද කියල. ඔළුවෙ කැක්කුමයි... උණත් වගේ කියල කිව්ව.
නෑ... මම එහෙම බැලුවෙ නෑ. මම කිව්ව බේත් ගන්න යමු කියල. එයා කිව්ව වැඩි වෙනව නම් විතරක් යමු, නැත්නම් අඩු වේවි, කලිනුත් හැදිල අඩු වෙලා තියෙනව කියල. ඒත් මම බල කළහම ඇඳගත්ත. එතකොට වහිනව. උදේ වුණාට හොඳටම අන්දකාරෙ. බයික් එකේ යන්න බැරි හින්ද අපි කුඩේ යටින් පාරට ඇවිල්ල ට්‍රයිෂෝ එකක් නවත්තගෙන ගියේ. මම ඔෆිස් එන්නෑ කියල කෝල් එකක් දෙන්න යනකොට එයා එපා කිව්ව. එයාට තනියම ගිහින් බේත් ගන්න පුළුවනි, එහෙම අරන් තියෙනව, ඩොක්ටර් ඉන්නෙ නමේට හින්ද මට යන්න කිව්ව.
නෑ... එතන මම දන්නෙ නෑ.
කලින් ගිහින් නෑ. පස්සෙ බොරැල්ලෙන් බැහැල එයා බේත් ගන්න යද්දි මම බස් එකෙන් ඔෆිස් ගියා. එයා බේත් අරන් බස් එකේ ගෙදර යනව කිව්ව.
නෑ... එයාට පුරුදුයි කිව්වනේ. අනික අපිට එහෙම නිවාඩුවක් හදිස්සියෙ ගන්නත් බෑ. බැරිම තැනක මිසක්... ඒකයි.
නෑ... මට කෝල් එකක් දෙන්න බැරි වුණා. වැඩ ගොඩගැහිල තිබුණෙ. එයා අරන් තිබුණ දෙපාරක්. ෆෝන් එකේ සයිලන්ට් වැටිලද කොහෙද... වැස්සත්නේ. මට රිංග්ස් යනව ඇහුණෙ නෑ. හවස දැක්ක මිස් කෝල්ස්. එතකොට මං ගත්තෙ නැත්තෙ ගෙදර යනවනෙ ඉක්මනට. ඒකයි.
වෙලාව... හයට විතර ඇති... යන්තම් පොදේ. ඔව්... කෙලින්ම ගෙදර කියන්නෙ ඇනෙක්ස් එකට.
ඔව්... හිටිය ඇඳේ ඇල වෙලා. මම ඇහුව තාම හිසරදේ තියෙනවද, උණද කියල. ඔව් කිව්ව. බේත් බිව්වද කියල ඇහුවම නෑ කිව්ව. මම ඇයි ඇහුව. ඒකට මුකුත් කිව්වෙ නෑ.
ඔව්... ඔක්කොම මේසෙ උඩ තිබුණා. බේත් පෙති පැකට් දෙකක්. තව නිල්පාට පුංචි පෙති කාඩ් එකකුයි කෑල්ලකුයි. මම ඇරල බැලුව. මම කිව්ව ගෙනාපු බේත් බොන්න කියල. වතුර කෝප්පෙකුත් ගෙනත් දුන්න. ඒත් බිව්වෙ නෑ. එතකොට හොඳටම කරුවල වැටිල.
ඔව්... ගියා. ඒ ගියේ මොනව හරි කන්න ගේන්න. වෙනද දෙන්නාත් එක්ක එන ගමන්ම ගේන්නෙ. ළඟ තියෙනව සුරස කැෆේ කියල. පයින් යන දුර. ඒකෙන් චිකන් කොත්තුවක් දම්ම ගත්ත.
ඔව්... දෙන්නාටම... ඇති... එතන සෙනඟ පිරිල හිටිය. විනාඩි හතළිස් පහක්... පැයක් විතර යන්න ඇති. මම යනකොට දොර වහගෙන ගියේ. මං දොර ඇරගෙන ඇතුළට එනකොට අමුතු ගඳක්... නාහෙ කාගෙන යන ගඳක් ආව... සතී ඇඳේ හිටියෙ නෑ... කෙඳිරි ගාන සද්දෙත් එක්ක මම බාත් රූම් එකට දුවල බැලුව. සතී කොමෝඩ් එක ළඟ මුනින් අතට වැටිල හිටියෙ. දුඹුරු පාටට වමනෙ වගේ වැටිල තිබුණ බිම. මට කෑ ගැහුණ. මං දුවල ගිහින් ආන්ටිට කිව්ව.
නෑ... මම උස්සන්න ගියෙ නෑ. ආපහු ඇවිත් උස්සන්න බැලුව. එතකොට දෙන්නෙක් කෝ... කොහෙද කියාගෙන ගෙට ඇවිල්ල උස්සල ගත්ත. වාහනේක දාගෙන ගෙනාව. කවුද ආවෙ කියන්න මම දන්නෙ නෑ.
ඔව්... ගෑනු දෙන්නෙක් ආව. ආන්ටි නෙවෙයි. මට කවුද කියල මතක නෑ.
නෑ... මම කුප්පියක් දැක්කෙ නෑ. මම එහෙමම හිටිය. ආවෙ නෑ. වාට්ටුවෙන් පිට බංකුවක ඉඳගෙන හිටියෙ. රෑ නර්ස් කෙනෙක් මට කිව්ව ලෙඩාට අමාරුයි කියල. මට නින්ද ගියේ නෑ.
ඔව්... නැති වෙලා කියල දැනගත්තෙ උදේ. මම ඒ ගොල්ලෑ ගෙදර කාවවත් අඳුනන්නෑ. ඇඩ්‍රස් එක හරි... දොළේ කඩේ බාරේ, උඩුපීල්රේ ගෙදර, ඇරෑපොළ.
නෑ... බබෙක් ලැබෙන්න ඉන්නව කියල මම දැනං හිටියෙ නෑ. එහෙම දෙයක් මට කියල නෑ... ඔළුවෙ කැක්කුම කියපු හින්දයි... උණටයි බේත් ගන්න ගියේ. බේත් පාමසියෙන් ගන්න ඇති.
මම මුලිනුත් කිව්ව. දැං කී පාරක්ද දන්නෑ කිව්ව. ඒ පෙන්නපු පෙති පැකට් ටික තමයි. ඒ කුප්පිය මම කලින් දැකල නෑ.
නෑ... දන්නෑ ඒ කුප්පිය එයාට හම්බ වුණේ කොහොමද කියල. ඒ කුප්පිය මම දැක්කෙ හවස පෙන්නපු වෙලේ.
නෑ... බාත් රූම් එකේ වැටිල තියෙනව දැක්කෙ නෑ. වමනේ තියෙනව දැක්ක ටිකක් පෙණ වගේ දුඹුරු පාට...
ඔව්... තිබහයි. මට ඕනෙ ගෙදර යන්න. ගෙදර... අපේ ගෙදර... ගෙදර දන්නෑ මං කොහෙද කියල. දැං රෑ නේද? මං මුකුත් කවදාවත් ගෙදරට කියල නෑ. සතී ගැන... අපි එකට ඉන්නවයි කියල කිසි දෙයක්...
එපා... මං ගෙදර ගිහිල්ලම...

පවුලෝ සැවෙරිනී වැන්දඹුව, ඇගේ පුත‍්‍රයා හා වාසය කළේ බොනිෆසියෝ පවුර මත පිහිටි කුඩා දිළිඳු නිවසකය. සාර්දිනියා වෙරළෙහි පහළ බෑවුමේ සිට බලන්නෙකුට ඉහළ කඳු පන්තියේ මුහුද දෙසට නෙරූ තීරය මත පිහිටි බොනිෆසියෝ ගම මුහුදු පාසි සහිත ගල්පර අතරින් පෙනෙයි. කඳු පාමුල අනෙක් පැත්තේ සම්පූර්ණයෙන්ම පාහේ දැවැන්ත කොරිඩෝවක් මෙන් කපා සකසා ඇත්තේ එය වරායක් සේ භාවිත කිරීමට බැව් කෙනෙකුට සිතාගත හැකිය. ඉතා තද බෑවුම් සහිත පර්වත බිත්ති අතර වූ පටු මුහුදු තීරුවෙහි පහළම වූ නිවාස වෙත දෛනිකව ගමන් ගන්නා ඉතාලි හෝ සාර්දිනියන් මාළු බෝට්ටු ද, සෑම දෙසතියකටම වරක් අජසියෝ වෙත හා ආපසු යාත‍්‍රා කරනා පැරණි වාෂ්ප බෝට්ටුවක්ද දක්නට ලැබෙන්නේය.
ඉහළට නැඟුණු ධවල පැහැ පර්වතයෙහි වූ නැම්මෙහි පිහිටි නිවෙස් සමූහය ඈතට පෙනුනේ එක්වන් වූ ධවල පැල්ලමක් ලෙසිනි. හරියටම කියතොත් වනයෙහි වූ කුරුල්ලන්ගේ එක ළඟ පිහිටි කූඩු රොත්තක් සේය. නිරතුරුවම හමනා චණ්ඩ සුලෙඟන් නොනවතින හිරිහැරයක් විඳිනා මුහුද ඒ වාඩුවට අතරින් පතර තණ පඳුරෙන් ආවරණය වී තිබෙනා කඳු පාමුල ඉවුර ක‍්‍රමයෙන් කා දමමින් සිටියේය. එය, මිටියාවත දෙපැත්තකින් විනාශ කරමින් වේගවත්ව ඇතුලට කාවැදෙමින් තිබුණි. සෑම තැනකම වූ, රළ සිදුරු කරන අසංඛ්‍යාත පාෂාණවල කාල වර්ණ ලක්ෂ්‍ය වටා සුදු පෙණ කැටි ගැසෙමින් රළ පහරට උස් පහත් වෙමින් තිබුණේ මුහුදට වීසි කළ පාන්කඩ වූ කැන්වස් රෙද්දක් පරිද්දෙනි.
නෙරුමෙහි ගැට්ටෙහිම තිබූ සැවෙරිනී මහත්මියගේ නිවසෙහි ජනේල තුනෙන්ම දැකගත හැකි වූයේ මේ පාළු හා අප‍්‍රිය දර්ශනය පමණි. ඇය තම එකම පුතු වූ ඇන්තොයින් හා බැටළු - සුනඛ අභිජනනයකින් බිහි වූ දිග දළ ලොමින් යුත් සෙමිලාන්තේ නම් බැල්ල සමඟ නිවසෙහි විසුවාය.
ඇන්තොයින් තරුණයාගේ එකම කාර්යය වූයේ බැල්ල සමඟ දඩයමෙහි යෑමය. එක් සැන්දෑවක බැල්ල හා නිකොලස් රැවොලටි නම් යහළුවෙකු සමඟ සාර්දිනියා වෙත දඩයමේ ගිය ඇන්තොයින් තරුණයා නැවත ආපසු ආවේ නැත. රාත‍්‍රියේ ඔහු හා ඇතිවූ ආරවුලකින් පසු රැවොලටි විසින් පිහියකින් ඇන දරුණු ලෙස ඇන්තොයින් මරා දමා තිබුණි. පසුදා උදේ ඔහුගේ මළ සිරුර අසල්වැසියන් විසින් නිවෙස වෙත ඔසවා ගෙන එන ලද්දේය. සැවෙරිනී මහත්මිය සිය පුත‍්‍රයාගේ සිරුර ගෙයි සාලයේ මැද බාවා බොහෝ වේලාවක් ඒ දෙස බලා සිටියාය. ඇය වැළපුණේවත් කඳුළක් සැලූවේවත් නැත. තම රැළි වැටුණු අතින් ඔහුගේ මුහුණේ සිට දෙපා දක්වා නොනවත්වාම පිරිමදිමින් යමක් මුමුණමින් බොහෝ වේලාවක් ගත කළාය. මඳක් ඇයට ළං වූ අසල්වැසියකුට ඇසුණේ ඇය නොනවත්වාම යමක් දිවුරන බවය. මඳ වේලාවකින් නැගිට සිටි ඇය සියළු අසල්වැසියන් එළියට දමා දොර වැසුවාය. ඉන්පසු මළ සිරුර අසල සිටියේ නොනවත්වා දිවුරමින් සිටි ඇයත් මළ සිරුර රැගෙන එන විට එය පසුපස පැමිණි වේලේ සිට ස්වාමියාගේ දෙපාමුල සිටගෙන වලිගය දෙපා අතර රුවා ගෙන නොනවත්වාම උඩුබුරමින් සිටි සෙමිලාන්තේ බැල්ලත් පමණි.
තරුණයා හැඳ සිටි ඝණ ලොම් කබායෙහි පපු පෙදෙස ඉරී තිබුණු අතර ඒ අවට ලෙයින් නැහැවී තිබුණේය. ලොම් කබායට යටින් වූ උඩු කබායද ඊට යටින් වූ කමිසයද පෙඟී තිබුණේ රුධිරයෙනි. කලිසමෙහි ද මුහුණෙහිද දෑතේද රුධිර පැල්ලම් බොහෝ විය. හිස කෙස් වලත් උඩු රැවුලෙහිත් රැඳී තිබූ රුධිරය කැටි ගැසී තිබිණි. බොහෝ වේලාවක් ඒවා පිරිමදිමින් සිට ඔහුගේ මුහුණට නැඹුරු වූ මහලූ ගැහැණිය ඔහුට කතා කිරීම ඇරඹුවාය. ඇගේ හඬ ඇසුණු සැණින්ම සෙමිලාන්තේ ඇගේ උඩුබිරීම වහා නවත්වා කතාව අසන්නට මෙන් ඇගේ මුහුණ බැලීය.
”මගේ කොල්ලා, මගේ අසරණයා නිදාගනින්, නිදාගනින්. මං මේ පළිය ගන්නවා, උඹට ඇහෙනවාද? මං පළිගන්නවා. උඹේ අම්මා දිවුරනවා, උඹ දන්නවාද මං ඒක කරනවා. උඹ සැනසීමෙන් නිදාගනින්”
ඉන්පසුව ඇය සෙමෙන් ඔහුගේ කම්මුල මත ඇගේ සීතල දෙතොල් තැබුවාය. සෙමිලාන්තේ නැවත ඇරඹූ විලාපය කෙමෙන් දුක්ඛදායක හැඬීමක් බවට පෙරළී උදෑසන තෙක් නොනවත්වාම ඇසුණි. එදින සවස්වරුවේ ඇන්තොයින් සැවෙරිනී තරුණයාගේ මළ සිරුර පහළ බෑවුමෙහි කුඩා තැනිතලා ස්ථානයක මිහිදන් කරන ලදී. ඉන්පසු ඇන්තොයින් පිළිබඳ මතකය අසල්වාසීන් තුළ තිබුණේ ඉතා ටික දිනක් පමණි. ඔවුනට ඊට වඩා මතක තබාගන්නට බොහෝ දේ තිබිණි.
සැවෙරිනී වැන්දඹුවට වෙන කිසිදු ඥාතියෙකු සිටියේ නැත. ඉතින් පුත‍්‍රයාට වූ පොරොන්දුව ඉෂ්ට කරන්නේ කෙසේද? තමා මරණයට සමීපව සිටින අබලන් දුබල මැහැල්ලක් පමණි. ඇය දින ගණනාවක්ම උදේ සිට රාත‍්‍රිය වනතුරු කවුළුවෙන් එපිට පෙනෙන සුපුරුදු පාළු මූසල දර්ශනය දෙස බලා සිටියාය. පටු මුහුදු තීරයෙන් එහා පෙනෙන සුදු පැහැ ලපය දෙස ඇය බොහෝ වේලා බලා සිටියාය. එය ලොන්ගෝසාදෝ නම් සර්දිනියානු ගම්මානය විය. කෝසිකන් දාමරිකයන් සරණ පතා පලා යන ප‍්‍රදේශය එය බව ඇය දැන සිටියාය. නිකොලාස් රැවොලටිද නිසැකවම එහි පලා ගොස් ඇති බව ඇයගේ අදහස විය.
දින ගණන් පසු වුවද ගත වන සෑම දිනකම ඇගේ බැල්ම කවුළුවෙන් ඉවත් වූයේ නැත. සෑම මොහොතකම ඇගේ සිතිවිල්ල වූයේ ‘මගේ පුතා මැරූ රැවොලටිගෙන් පළිගන්නේ කෙසේද? කාගෙ හරි උදව් නැතුව.’ එහෙත් ඇය පුත‍්‍රයාට පොරොන්දුවක් වී තිබේ. එය අමතක කළ නොහැක. බලා හිඳිනට කාලයක් නැත. එහෙත් කළයුත්තේ කුමක්ද? කවුළුවෙන් පෙනෙන දර්ශනය දෙසම බලා සිටි ඇයට මුළු රැයම නින්දක් නොවීය. මුළු රාත‍්‍රියම. සෙමිලාන්තේ බැල්ලද ඇගේ දෙපාමුල වකගැසී ලැග සිටියේ දුක්ඛිත ලෙසය. ඇය වරින්වර හිස ඔසවා කවුළුවෙන් පෙනෙන පාළු හිස් අවකාශය දෙස බලාගෙන උඩුබිරුවාය.
එක් රාත‍්‍රියක සෙමිලාන්තේ නැඟූ කෙඳිරිය අසා සිටි මැහැල්ලට හදිසියේ අදහසක් පහළ විය. එතැන් සිට උදෑසන වනතුරු ඇය එම අදහසට සමවැදී කල්පනා කරමින් හිඳගෙන සිටියාය. හිරු නැෙඟන මොහොතේ නැගී සිටි ඇය කෙළින්ම ගියේ පල්ලිය වෙතය. පල්ලියේ ගල් පඩි මත දණගැසූ ඇය යාඥාව ඇරඹුවාය. ”දෙවියනි මට උදව් කරන්න. ශක්තිය දෙන්න. පුත‍්‍රයාගේ මාරයාගෙන් පළිගැනීමට මගේ කබල් සිරුරට ශක්තිය දෙන්න.” බොහෝ වේලාවක් ගල් පඩිය මත ගතකළ ඇය ආපසු පැමිණියාය. පිටුපස මිදුල වෙත ගොස් වැසි ජලය එකතුවීම පිණිස තබා තිබූ බැරලය මුනින් නවා එය හිස් කොට එය ගල් කීපයක් මත තබා සෙමිලාන්තේ රැගෙන විත් දම්වැලකින් එහි
ගැටගසා නැවත ගෙතුළට ගියාය. ඇගේ කාමරය වෙත ගිය ඇය නැවතීමක් නොමැතිව සක්මන් කළේ කවුළුවෙන් පෙනෙන සාර්දිනියා වෙරළ තීරය දෙස බලාගෙනය. මිනීමරුවා එහි නිරුපද්‍රිතව ජීවත්වෙයි.
එදින මුළු දහවල් වරුවේ සහ මුළු රාත‍්‍රිය පුරාම බැල්ල උඩුබිරුවාය. උදෑසන මැහැල්ල ඉතා කුඩා භාජනයකට ජලය ස්වල්පයක් බැල්ල ළඟින් තැබුවාය. එය ඇගේ පිපාසාව සංසිඳවීමට කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවීය. ඇය මැහැල්ල දෙස බලා සිටියේ අසරණ බැල්මකිනි. එහෙත් මැහැල්ල ජලය තබා කිසිදු අහරක් බැල්ලට දුන්නේ නැත. පසුදිනය එළැඹියේය. සෙමිලාන්තේ බොහෝ වෙහෙසට පත්ව නිදා සිටියාය. ඇයට කිසිදු අහරක් ලැබුණේ නැත. ඊ ළඟ දවස උදාවන විට බැල්ලගේ දෑස දීප්තියෙන් බැබළුන අතර ඇය ඉතා දරුණු ලෙස දම්වැල අදිමින් සිටියාය. එදිනද මැහැල්ල බැල්ලට කෑමක් කිසිවක් දුන්නේ නැත. ඇය කුසගින්නේ උමතුව සිටි අතර ඇගේ බිරුම් හඬට දරුණු බැරෑඬි ස්වරයක් මුසු වී තිබුණි. එදින රාත‍්‍රිය ගෙවී ගියේද කුසගින්නේය.
පසුදා උදෑසනම අසල්වැසි ගෙයකට ගිය සැවෙලිනී වැන්දඹුව පිදුරු මිටි කිහිපයක් ඉල්ලාගෙන ආවාය. පරණ පෙට්ටගම අවුස්සා මියගිය තම සැමියාගේ පරණ කමිසයක් හා කලිසමක් සොයාගත් ඈ ඒවාට පිදුරු ඔබා පඹයකු සෑදුවාය. පඹයා රැගෙන සෙමිලාන්තේ ගැටගසා සිටි බැරලය අසලට ගිය ඈ ඒ ඉදිරියෙන් ඉන්නක් සිටවා පඹයා එහි රැඳවූවාය. ලිනන් රෙදි පටියක් ගෙනවිත් පඹයාගේ හිසෙහි ජටාවක් සේ ගැටගැසුවාය. බැල්ල මේ අමුත්තා දෙස මඳක් වේලාවක් බලා සිටියේ විමතියෙනි. ඉන්පසු ඇගේ මුවින් පිට වූයේ දරුණු ගෙරවිලි හඬකි. එදෙස මොහොතක් බලා සිටි මැහැල්ල වහා පිටව ගියේ ඌරුමස් වෙළෙන්දා හමුවටය. සඟවාගෙන සිටි කාසි ස්වල්පයක් නිර්ලෝභීව ඔහුට දුන් ඇය සැලකියයුතු තරමේ ඌරුමස් පෙත්තක් රැගෙන ආවාය. බැල්ල ගැටගසා සිටි බැරලයට නුදුරින් එළිමහනේ ළිපක් සාදාගත් ඇය ඌරු මස් තීරු ගින්නේ පලහන්නට වූයේ ඉන් කදිම සුවඳක් විහිදුවමිනි. බැල්ල මුඛයෙන් ඛේටය වගුරුවමින් දම්වැල කැඞීයන තරම් වේගයකින් උඩ පනිමින් ඉතා දරුණු හඬක් නගමින් වියරු ලෙසින් දඟලන්නට වූවාය. බැදෙන ඌරු මසෙහි සුවඳ ඇය කුසගින්නෙන් උමතු කොට තිබිණි.
දුම් දමන ඌරුමස් තීරු අතින් ගෙන පඹයා සමීපයට පැමිණි මැහැල්ල ඒවා පඹයාගේ බෙල්ල තුළ සඟවන්නට වූවාය. බොහෝ වේලා ගතකොට ඇය එම කාර්යය නිමා කරනතුරු බැල්ල නොකඩවා දම්වැල අදිමින් භයානක ලෙස ගොරවමින් දඟලන්නට වූයේ දැඩි නොඉවසිල්ලකිනි. හදිසියකින් තොරව කාරිය නිමා කළ මැහැල්ල බැල්ල සමීපයට විත් ඇය දම්වැලෙන් මුදා හැරියාය. භයානක ගෙරවිල්ලක් නඟා එක පිම්මෙන්ම පඹයාගේ උරහිස මතට පීනූ බැල්ල පඹයාගේ ගෙල කීතු කරන්නට වූයේ මහ හඬින් ගොරවමිනි. පඹයාගේ උරහිස් මතට දෑත තබා ගත් බැල්ල පඹයාගේ ගෙල සපමින් ඉරමින් එය තුළ වූ ඌරුමස් තීරු එළියට ගෙන ගිල දමන්නට වූයේ මහත් කෑදර කමෙනි. මැහැල්ල එදෙස හැඟීම් විරහිතව හා නිශ්ශබ්දව බලා සිටියාය. එහෙත් ඇගේ දෑස දීප්තියෙන් බැබලිණි. නැවත බැල්ල බැඳ දැමූ ඇය ගෙතුළට පිවිසියාය. ඉන්පසු එළැඹි දින දෙකේම බැල්ලට පෙර සේම ආහාර පිණිස කිසිවක් ලැබුණේ නැත. තුන්වන දින නැවත පෙර අභ්‍යාසය ක‍්‍රියාවට නංවන ලද්දේය. සතියක් කල් ගෙවුණු පසු මැහැල්ල බැල්ලට අළුත් කොන්දේසියක් එක්කළාය. ”පැනපං” යැයි පහත් හඬින් වූ ඇගේ විධානය ඇසෙන තෙක් කෙතරම් කුසගින්නේ සිටියද බැල්ල පඹයාගේ ගෙලට පැන්නේ නැත. පුරා තුන් මසක් මේ ක‍්‍රියාන්විතය බැල්ලට පුහුණු කළ පසු ‘දැන් වෙලාව පැමිණ ඇත’යි දිනක ඇය තීරණය කළාය.
පසුදින පැහැබර ඉරිදා දිනයක් විය. දීප්තිමත් හිරුගේ රැස් පහළ පටු මුහුදු තීරයේ පෘෂ්ඨය මත වැටී රිදී පාටට දිළිසෙමින් තිබුණේය. එදින උදෑසනම අවදි වූ සැවෙරිනී මාතාව පල්ලියට ගොස් තමනට ශක්තිය හා ධෛර්යය ලබා දෙන මෙන් දෙවියන්ට යාඥා කළාය. ඉන්පසු ඇය නිහඬවම ආපසු නිවෙස වෙත ගමන් කළාය. මඟදී හමු වූ කිසිවෙකු සමඟ ඇය කතා කළේ නැත. හිස ඔසවා බැලූවේවත් නැත. නිවෙසට ඇතුළු වූ ඇය පරණ පෙට්ටගම අවුස්සා මියගිය සිය ස්වාමියාගේ පරණ ඇඳුම් කිහිපයක් සොයාගත්තාය. ඇත්තෙන්ම ඒවා වැරහැලි වූ දිරාගිය ඇඳුම් විය. ඒවායින් කිහිපයක් තෝරාගත් ඇය ඒවා මල්ලක් තුළට ඔබාගත්තාය. ඉන්පසු කණ්ණාඩිය ඉදිරිපිට සිටගත් ඇයට ඒ තුළ පෙනුනේ දුබල හා දිරාගිය මැහැල්ලකි. ඇය කණ්ණාඩියෙන් මුහුණ බැලූවේ තෙමසකට පසුවය. ඇගේ දෙකම්මුල් ද දෑස ද භයානක ලෙස යට ගිලී තිබිණි. එහෙත් හිරු රැුස් වැටුණු ළිං අඩියක වූ දිය කඩිත්තක් මෙන් ඇගේ දෑස් දීප්තිමත්ව බැබලෙමින් තිබුණේය. සුසුමක් හෙළුෑ මැහැල්ල කණ්ණාඩිය ළඟින් ඉවත්ව මුළුතැන්ගෙට ගොස් පුළුස්සා තිබූ ඌරුමස් තීරු කිහිපය මල්ලකට අසුරා ගත්තාය. ඉන්පසු ඇය කෙළින්ම ගියේ බැල්ල අසලටය. ගැටගසා
තිබූ දම්වැල ලිහාගත් ඇය බැල්ලද කැටුව කඳු පාමුල කුඩා වරාය දෙසට ගමන් ගත්තාය. තම පසුම්බියෙන් ගත් කාසි ස්වල්පයක් වියදම් කිරීමෙන් පසු ඇයට සාර්දිනීයන් මාළු ඔරුවකින් පටු මුහුදු තීරයේ එහා පැත්තට යාගන්නට හැකි විය.
කෙටි දුරක් ගමන්ගත් පසුව දෙදෙනා පිවිසියේ ලොන්ගොසාදෝ ගම්මානයටය. එතෙක් ඇය කළේ පලහාගත් ඌරුමස් තීරු සහිත මල්ල බැල්ලට ඉව කිරීමට දීමය. දින දෙකක් තිස්සේ කුසගින්නේ සිටි බැල්ල ඉන් නැඟුණු සුවඳෙන් උමතුව සිටියාය. බැල්ලගේ අඩක් විවර වූ මුවෙන් එළියට ඇදුණු දිවෙන් ඛේටය වැගිරෙමින් තිබුණි. ගම්මානයට ඇතුළු වූ පසු ඇය වුවමනාවෙන්ම එක් පයක් මඳක් කොරගසමින් ඇවිදින්නට පටන් ගත්තාය. ගම්මානයේ බක්කරේගේ පෝරණුවට කොර ගසමින් ගිය මැහැල්ල ඔහුගෙන් නිකොලාස් රැවොලටි ඉන්නා තැන අසා දැනගත්තාය. බොහෝ දුරක් ඇවිද ගිය ඇය අන්තිමේදී නිකොලාස් ඔහුගේ පුරුදු රැකියාව වූ වඩු කර්මාන්තයේ යෙදී සිටිනා වඩුමඩුව වෙත කොරගසමින් පැමිණියාය. නිකොලාස් සිටියේ වඩුමඩුව පිටුපස යම් වැඩක නිරත වෙමිනි. මැහැල්ල නිහඬවම බැල්ල සමඟ ඒ සමීපයට ගියාය.
”ඒයි, නිකොලාස්. උඹට මාව මතකද?”
හඬත් සමඟම ආපසු හැරී බැලූ නිකොලාස්ට ඇය හඳුනාගන්නට තරම් කාලයක් ලැබුණේ නැත. මැහැල්ලගේ ඊළඟ නියෝගය නිකුත් වූයේ සෙමිලාන්තේ බැල්ලටය.
”පැනපං”
භයානක ලෙස ගෙරවූ උමතු තිරිසනා නිමේෂයකින් ඉදිරියට පැන නිකොලාස්ගේ උරහිසට දෑත තබා සිය ඛේටය වැගිරෙන හොම්බ ඔහුගේ ගෙලට ළං කළාය. භීතියෙන් මුව අයාගත් නිකොලාස් දෑතින්ම බැල්ල අල්ලාගෙන බිම පෙරළුණි. අනතුරුව දෙදෙනාම රවුම් කිහිපයක් ලී කුරුටු සහිත පොලොවේ ඔබ මොබ පෙරළී ගිය අතර ඒ වනවිටත් සෙමිලාන්තේගේ තියුණු දත් වලට නිකොලාස්ගේ බෙල්ල හසුවී තිබුණි. බැල්ල භයානක ලෙස ගොරවමින්, සිය තියුණු දත් වලින් නිකොලාස්ගේ ගෙල ඉරමින් සිටියේ ඌරුමස් තීරු සොයන්නටය. ලේ රසට කෑදර වූ බැල්ල ඔහුගේ උගුරු දණ්ඩද නහරද එළියට අදිමින් මහත් රුචියෙන් තළු මරමින් අනුභව කළාය. නිකොලාස් මරණීය වේදනාවෙන් විලාප දුන්නද ඔහුගේ මුවෙන් හඬක් පිටවූයේ නැත. භීතියෙන් විවර වූ ඔහුගේ දෑස සැවෙලිනී මැහැල්ල හඳුනාගත් බවක් පළ කළේය. අදහාගත නොහැකි පුදුමයකින් ඇය දෙසම බලා සිටි නිකොලාස්ගේ දෑස කෙමෙන් අඩපණව යනු මැහැල්ල බලා සිටියේ හැඟීමකින් තොරවය.
මහලු ගැහැණියක් කොර ගසමින් නිකොලාස්ගේ වඩුමඩුවට ඇතුළුවනු ද ස්වල්ප වේලාවකට පසු වැරහැලි හැඳගත් දුප්පත් මහලු මිනිසෙක් කෙට්ටු කළු බල්ලෙකුද සමඟ පාරේ ගමන් කරනුද සිය නිවසේ පඩිය මත වාඩිවී කංසා සුරුට්ටුවක් උරමින් සිටි අසල්වාසියකු දුටු බව පසුව හෙළි විය.
ගොම්මං අඳුරේ සැවෙලිනී මැහැල්ල ආපසු නිවසට පැමිණියාය. බැල්ල කණුවෙහි ගැට ගසා ඌරුමස් තීරු සියල්ලම එතැනම හැලූ ඇය නිවසට ඇතුළුව සාලයෙහි බිම වැතිර පසුදා පහන් වනතුරුම සුවසේ නිදා ගත්තාය. ඇය නින්ද යනතුරුම මැතිරූ වදනක් විය.
”මං පොරොන්දුව ඉෂ්ඨ කළා මගෙ පුතේ"
දෙමළ කෙටිකතාව සදීස් සෙල්වරාජ්
පරිවර්ථනය ජී. ජී. සරත් ආනන්ද
ඒ කාමරයේ රොසෙට්ටි මේස ලාම්පුවක් පමණක් දැල්වෙමින් තිබුණි. පැරණි බට්ටා ඔරලෝසුව ටිං... ටාං... ටිං... ටාං... යනුවෙන් හඬ නංවමින් වෙලාව මධ්‍යම රාත්‍රි 12 බැව් දැනුම් දුන්නේය. වර්ෂාව හෝ... හෝ... හඬින් ඇද හැලෙමින් තිබූ අතර වහල මතට ඇද හැලෙන වැහි බිඳුවලින් චර... චර... හඬක් නැඟුණි. ඒ හඬ දෙසවන් තුළට කිසියම් හැඟීමක් ජනිත කළේය.
කුඩා දැරිය අම්මාගේ උදර කොටසට අත තබා ඇයට තුරුළු වෙමින් ‘අම්මා... අම්මා...’ යි ළපටි හඬක් මතු කළාය.
“ඇයි පැටියෝ, චූ දාන්න යන්න ඕනද?”
“නෑ, අම්මා.”
“එහෙනම් මොකද තාරු මේ මහ රෑ අම්මට නිදාගන්න දෙන්නෙ නැතුව කරදර කරන්නෙ?’
“අනේ අම්මා, මට නින්ද යන්නෙ නෑ. මට කතාවක් කියන්නකො. කතාව කියනකොට නිදාගන්නම්.”
“මගේ හුරතල් තාරු පැටියට දැන් කතාවක් අහන්නම ඕනද?”
අම්මා එසේ අසත්ම තාරු අම්මාගේ ළය මතට පෙරළී මුනින්අතට හැරෙමින් ‘හ්ම්’ යි හඬ නැඟුවාය.
“මගේ පැටියට කණ්ණාඩි වෙළෙන්දගෙ කතාව කියන්නද?”
“හා... කියන්න කියන්න අම්මා.”
අම්මා පොතපත කියවීමට පුරුදු පුහුණු වී ඇති තැනැත්තියකි. එසේ කියවා දැනගත් දේ අන්‍යයන් සමඟ බෙදා හදා ගැනීමට ඇය කැමතිය. ඇතැම්හු ඇය කිසියම් කතාවක් කියාවි යැයි සිතා ඒ ස්ථානයෙන් වහා පිටව යති. ඇය තමා අතට කඩදාසි කැබැල්ලක් ලැබුණත් එය විසිකර දමන්නේ වරක් හෝ කියවා බලාය. ඈ ප්‍රේම කතාවක් ලිපියකින් ඇරම්භ කළාය. එහි ප්‍රතිඵලය ලෙස විවාහය සිදු වන විට තාරු අම්මාගේ බඩට විත් මාස දෙකක් ගතව තිබුණි.
අම්මා කතාව ආරම්භ කළාය.
“ඔන්න එකමත් එක ගමක කන්දසාමි කියල කණ්ණාඩි වෙළෙන්දෙක් හිටියා. එයා කණ්ණාඩි පුරවපු කූඩෙ ඔළුව උඩ තියාගෙන කූලිංග් ග්ලාස් දෙකක් ඇස් දෙකට දාගෙන තමයි වෙළඳාම් කරන්න යන්නෙ. ඒක නිසා ‘කූලිංග් ග්ලාස් කන්දසාමි’ කියල තමයි හැම දෙනාම එයාව අමතන්නෙ. එයාගෙ ගමන, ශරීර හැඩය, බැල්ම හැම දෙයක්ම වඩිවේලුගෙ වගේමයි....”
තාරු ‘ආ...ව්...ව්...’ යි වඩිවේලු නම් දමිළ සිනමාවේ සුප්‍රකට නළුවාගේ හඬ අනුකරණය කරමින් සිනාසුණාය. ඒ සමඟ අම්මාද ඇගේ සිනාවට එක්වූවාය.
අම්මා තම සිනාව අතරමඟ නතර කර යළි කතාව කියන්නට වූවාය.
“කණ්ණාඩි ගන්නවද කණ්ණාඩි...? කණ්ණාඩි ගන්නවද කණ්ණාඩි...? සල්මන් ඛාන් කණ්ණාඩි... රජිණි කාන්ත් කණ්ණාඩි... රවුම් කණ්ණාඩි... පෙට්ටි කණ්ණාඩි... එක එක ජාතිවල කණ්ණාඩි...තරුණ අයට කණ්ණාඩි... වැඩිහිටියන්ට කණ්ණාඩි... කණ්ණාඩි ගන්නවද කණ්ණාඩි... මේ විදියට කිය කියා ගිහින් කණ්ණාඩි විකුණල ඒ වෙළෙන්දා දවසකට රුපියල් දාහකට වඩා හම්බ කරනවා.
දවසක් මේ විදියට වෙළඳාම් කරන්න අල්ලපු ගමට ගිය කණ්ණාඩි වෙළෙන්දා නුග ගහක් යට ඉඳගෙන ඉකි ගගහ අඬන්න පටන් ගත්තා. එයාගෙ දකුණු කකුලෙ පහළ කැපුම් තුවාලයක්. ඒකෙන් නොනැවතී ලේ ගලනවා. කකුල ළඟ බිම වැටිල තිබුණු කණ්ණාඩි සේරම බිඳිල ගිහින්...”
“අනේ පව් අම්මා, කණ්ණාඩි වෙළෙන්දා! කවුරුහරි හොරෙක් ඇවිත් එයාට ගහල සල්ලි ටික උදුරගෙන ගිහිල්ලද? ඒ හොරාට බැට්මෑන් ඇවිත් ගුටි දෙයි නේද අම්මේ?”
මුහුණ හකුළාගෙන දෙතොල් ළං කරමින් තාරු ප්‍රශ්න කළාය.
එළියෙන් ‘ඩොක්...ඩොක්...’ හඬක් ඇසුණි. නිවසට පිටතින් සිමෙන්ති පොළව මත සපත්තු දා ගත් පිරිසක් ඇවිදින්නාක් වැනි හඬකි. අම්මා බියපත් වූවාය. ඈ ළය මත නිඳා සිටි තාරු ප්‍රවේශමෙන් ඇඳ මතින් ඔසවා තබා, කලව දක්වා ඉස්සී තිබූ තම රෑ ඇඳුම පහතට දමා බියෙන් යුක්තව ජනේලය දෙසට පා තැබුවාය. සපත්තු අඩිවල හඬ ජනේලය අසලින් ඉතා උස්ව ඇසෙයි. අම්මාගේ බියද වැඩි විය. ඈ පහත් වෙමින් ජනේලය ආසන්නයට ඇදි ගොස් ජනෙල් තිරය මඳක් හකුළා වීදුරුව තුළින් පිටතට දෑස් යොමු කළාය. එළියේ කිසිවෙක් නොමැත. එහෙත් සපත්තු අඩි හඬ තවමත් ඉතා ආසන්නයෙන් ඇසෙයි. අම්මා මුවින් හඬ නොනැඟෙන සේ විළුඹින් ඉස්සී අවධානයෙන් එළියේ සිමෙන්ති පොළොව දෙස බැලුවාය. එළියට තල්ලු වී වැටෙන තරමට විශාල වී තිබූ ඇගේ ඇස් බෝල දෙක මඳක් හැකිළී ගියේය.
සපත්තු අඩි ශබ්දය යැයි අම්මා බිය වී සිටියේ වැස්සට මුලුගැන්වී සිටි එළු රෑනේ කුර ගැටෙන හඬටය. සිමෙන්ති පොළොව එළුවන්ගේ කුරවලට කැඩී ගොස් තිබුණි. හෙට දිනයේ තමාට බෙහෙවින් වැඩ ගොඩගැසෙන බැව් සිහිව අම්මා එළුවන් දෙස බැලුවේ කෝපයෙනි. අම්මා කෝපයට පත්වූ විට භද්‍රකාලි මෑණියන් වැනිය.
‘සාණන්’ වර්ගයට අයත් එළුවෝ එකෙක් දෙන්නෙකුත්, ‘ජමුනාපාරි’ වර්ගයට අයත් කන් දිගැති එළුවෝත්, බොහෝ ස්ථානවල රවුම් ගසා පැමිණි මුහුන් වර්ගවල එළුවෝත් එහි සිටගෙන සිටිති. මේ බාවාට අයත් එළුවෝය. අම්මා පශු වෛද්‍යවරියක බැවින් එළුවන් ගැනත් දන්නීය. බාවා ගැනත් දන්නීය.
ජමුනාපාරි එළුවෙක් සාණන් එළුවකු සමග අංවලින් ඇනගනිමින් සිටියේය. අම්මා මඳක් කලබලයට පත්ව අප්‍රසාදය පාමින් ඇණයක එල්ලෙමින් තිබූ සිය සැමියාගේ ඡායාරූපය දෙස බැලුවාය. සැමියා ‘අයි. ටී.’ ක්‍ෂේත්‍රයේ වෘත්තිකයෙකි. ව්‍යාපෘති කාර්යයක් සඳහා ඔහු සිය කණ්ඩායමද සමඟ ඉන්දියාවට පිටත්ව ගොස් දින දෙකක් ගතව ඇත. ඔහු යළි ශ්‍රී ලංකාවට පැමිණීමට සති දෙකක්වත් ගතවනු ඇත. අම්මා ‘හ්ම්...’ යි සුසුමක් මුදාහැර විදුලි බල්බය දල්වමින් නාන කාමරයට ගියාය. නාන කාමරයත්, වැසිකිළියත් එකම කාමරයක ඉදිකරනු ලැබ තිබුණි.
මේස ලාම්පුවට පසෙකින් තිබූ මුද්‍රිත කඩදාසිය සුළඟට සෙලවුණි.
“... නොවැම්බර් 09 කුමන දිනයදැයි දන්නෙහිද? ලෝක වැසිකිළි දිනයයි. 2001 වසරේදී ලෝක වැසිකිළි දිනය ආරම්භ කරන ලදී. 2013 ජූලි මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල්වල පොදු සම්මේලනයකදී නොවැම්බර් 19 දිනය එක්සත් ජාතීන්ගේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කළේය. මේ සඳහා වන යෝජනාව ඉදිරිපත් කළේ සිංගප්පූරුවයි. යුරෝපයේ තිබෙන ‘කොමඩ්’ සහිත ජල මුද්‍රිත වැසිකිළිය අද කොපමණ නම් ව්‍යාප්තව තිබේද? වර්ෂ 1800ට පෙර වැසිකිළි ලෙස භාවිත කර තිබෙන්නේ කැළෑවල් සහ වෙනත් වෙන් කළ ස්ථානයන්ය...”
තාරු ඉගෙන ගන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් බැවින් ඇයට දමිළ බස කියවීමට නොහැක. එම නිසා ඇය ඒම කඩදාසියේ තිබූ විස්තර කියවා තිබුණේ නැත.
වැසිකිළි කොමඩ් එකේ ‘ස්විච් පුෂ් කිරීමෙන්’ ජලය ගලන හඬ තාරුට ඇසුණි. අම්මා යළි පැමිණි වහාම කතාවේ ඉතිරි ටික අසාගත යුතු යැයි බලාපොරොත්තුවෙන් ඈ පොරෝණය තුළ ගුලි ගැසී බලා සිටියාය. අම්මා පැමිණෙත් ම “අම්මේ, කතාව කියන්න” යි ඈ අයැද සිටියාය. කුස්සිය තුළ භාජන ගැටෙන හඬක් ඇසී එදෙසට හැරී ගිය අම්මා කුස්සිය තුළට ඇතුල් වූවාය. තාරුගේ මුහුණ ටිකින් ටික මැලවී යන්නට විය.
කුස්සි කාමරයේ මුවින් කරවල කැබැල්ලක් ඩැහැගෙන සිටි මීයෙකි. ඌ තැති ගෙන දෑස් ලොකු කර අම්මා දෙස එබී බලා සිටියේය. ඊළඟට කළ යුත්තේ කුමක්දැයි අම්මා කල්පනා කිරීමට පෙර මීයා ක්‍ෂණිකව දිව ගොස් ජනේලයෙන් එළියට පැන දිව්වේය. අම්මා ජනේලය ඇද වසා දැම්මාය. සෙලවෙමින් තිබූ ජනෙල් තිරයට යළි විවේකයක් ලැබුණි.
අම්මා තාරු ආසන්නයට ගොස් ඇඳේ දිගෑදුණාය. තාරු අම්මාගේ මුව දෙස ම බලා සිටියාය. මුව විවර විය.
“... කණ්ණාඩි වෙළෙන්දා අල්ලපු ගමට ගිහින් හිටියත් බලාපොරොත්තු වුණ විදියට එදා වෙළඳාම සරු වුණේ නෑ. එයා හැම පාරකම රස්තියාදු වෙලා, මහන්සි වෙලා නුග ගසක් යට හාන්සි වුණා. එහෙමම ඇස් පියවෙලා නින්ද ගියා...”
තාරු තව ටිකක් අම්මා වෙතට සමීප වූවාය.
“... කණ්ණාඩි වෙළෙන්දා හීන ලෝකෙ පාවෙන්න පටන් ගත්තා. හීන ලෝකෙදි එයා කණ්ණාඩි කොම්පැණියෙ ලොක්ක බවට පත් වුණා. ලොකු ලොකු මුදලාලිලා, චිත්‍රපට නළු නිළියො හැමදෙනාම වගේ ඇවිත් කණ්ණාඩි තෝර තෝර මිලදී ගත්තා. වෙළෙන්දා ඒ. සී. රූම් එකක හොඳට ඉඳගෙන අලුත්, අලුත් කණ්ණාඩි මෝස්තර දිහා නිහඬව බලාගෙන හිටියා. ව්‍යාපාරෙ වේගෙන් දියුණුවට පත්වෙනවා. එයා යටතෙ ඉන්න කම්කරුවො හුඟ දෙනෙක් කණ්ණාඩි කූඩෙ ඔළුවෙ තියාගෙන වෙළඳාමට යනවා. ඔය විදියට වෙළෙන්දාට සල්ලි ගොඩගැහෙන්න පටන් ගත්තා.
“වෙළෙන්දා ‘අහා...’ යි කියල සද්ද කරගෙන නින්දෙන් අවදි වුණා. එයාගෙ කකුලෙ ලොකු කැපුම් තුවාලයක්. ඒක කොහොමද වුණේ කියල බැලුවා. එයා සිහින දකින අතරෙ කණ්ණාඩි කූඩෙ එයාගෙ කකුලෙ හැපිල පෙරළිලා කණ්ණාඩි ටික ඔක්කොම බිඳිල ගිහින්. ඒකෙ තිබුණ කණ්ණාඩියක වීදුරු කෑල්ලකට තමයි කකුල කැපිල තියෙන්නෙ. වෙළෙන්දා ඔළුවෙ ජටාවත් බැඳගෙන ‘ඔක්කොම ඉවරයි’ කිය කියා අඬ අඬාම පිට වෙලා යන්න ගියා...”
“එතකොට එයාට මුදලාලි කෙනෙක් වෙන්න බැරිද අම්මා?”
තාරුගේ මුහුණ සුදුමැලි වී ගොසිනි.
“ඒක තේරුංගන්න ඔයාට තව කලක් යාවි පැටියෝ.”
“අනේ ඉන්න අම්මා! ඔයා කියපු කතාව හරි නෑ. මට වෙන කතාවක් කියන්නකො.”
“තව කතාවක්...? දැන් ඇති පැටියෝ. අම්මා හෙට කියන්නම්කො.”
තාරු අම්මාගේ කම්මුලට හාදුවක් දෙමින් එකම එක කතාවක් විතරක් කියන්නැයි අම්මාගෙන් ඉල්ලා සිටියාය. ඒ දැරියගේ මුවෙහි සිසිලසින් කම්මුල ස්පර්ශ වු විට ඇයගේ ඉල්ලීම කෙසේ නම් ප්‍රතික්‍ෂේප කරන්නද? අම්මා තාරුව ළඟට තුරුල් කර ගනිමින් ‘පැටියෝ, මම ඔයාගෙ කතාව කියන්නද? යි අසත්ම ‘හ්...හා..’ යි මුව පුළුල් කරමින් සතුට ප්‍රකාශ කළ දැරිය ‘කියන්න අම්මා කියන්න’ යි හඬ නැඟුවාය.
අම්මා මඳ විරාමයක් ගෙන භූමිකාවට එළඹෙන තුරු තාරු අම්මාගේ මුව දෙසම බලා සිටියාය. අම්මාගේ මුව විවර විය. දෙදෙනාම සිනමා ලෝකයක පාවී ගියෝය.
★......................
දීප්තිය විහිදමින් විදුලි කොටන්නට විය. අකුණු හඬද පැතිරුණි. ඒ හඬ දෙසවන් බිහිරි කරවන තරම්ය. කළු වළාකුළුවලින් අහසම අඳුරු වී තිබුණි. මීදුම සියල්ලම වසාගෙනය. මොහොතකින් ධාරානිපාතව වර්ෂාව ඇද හැලෙන්නට විය.
දැල්වෙන පහණක සිහින් ආලෝක දහරාවක් එම ප්‍රදේශයේ පිහිටි උළු සෙවිලි කරන ලද නිවසක ජනේලයකින් නික්මුණි. පහන් තිරයේ කොනෙහි දැල්වෙමින් තිබූ ආලෝක දහරාව සුළඟට සැලෙමින් තිබූ අතර එම නිවස ඇතුළත කිහිප දෙනෙකුගේ ඡායාවන් එහෙ මෙහෙ සැරිසරනු පෙනුණි. මෙම නිවස යක්‍ෂයින් අරක්ගත් නිවසක් යැයි ගම පුරා කතා පැතිර තිබුණි. ඒ ආසන්නයේ වෙනත් නිවාස නොතිබුණි. රේඛා නමැති කාන්තාව දූෂණය කර මරා දමන ලද්දේ ඒ නිවස තුළදීය. ඇය ඝාතනය කර ටික දිනකට පසු ඒ ස්ත්‍රී දූෂක ඝාතකයින්ද එම නිවස තුළම ලේ වමනය කර මැරී තිබුණි. එදා සිට අඳුර වැටුණු පසු එම නිවස පැත්තෙන් කිසිවෙකුත් ගමන් නොකරති.
වින්සන් එදා ගමට එන විට ප්‍රමාද විය. ගණිත පංතිය ප්‍රමාද වී නිමාවට පත් විය. වින්සන් යකෙක් ගැසුවාක් මෙන් නිවස දෙසම බලා සිටියේය. නිවසේ ඇතුල් බිත්තියේ කාන්තාවකගේ රුවක් පෙනුණි. ඒ කාන්තාවගේ හිසකෙස් සුළඟේ ඉගිල්ලෙන්නට මෙන් සැලෙන ආකාරය බලමින් සිටි වින්සන්ට මුත්‍රා කිරීමේ අවශ්‍යතාව තදින්ම දැනුණි. ඔහු ගෙලෙහි තිබූ කුරුසය අතින් අල්ලාගෙන යාඥා කරන්නට වූයේය.
එම කාන්තාව වටා පිරිමින්ගේ ඡායා කිහිපයක් සමීප වනු ඔහු එබි එබී බලා සිටියේය. ඔහුගේ බැල්ම මුළුමනින්ම එදෙසට යොමුව තිබුණි. කතාවක් ලෙස අසා තිබූ රේඛා දූෂණය කිරීමේ සිදුවීම සියැසින්ම දැක ගැනීමේ උනන්දුව ඇත්තෙකු සේ ඔහු නොසැලී ඒ නිවස දෙසම බලා සිටියේය. ඒ පිරිමි ඡායා දෑත් එහෙ මෙහෙට දික් කරමින් කුමක්දෝ කතා කරමින් සිටියහ.
හදිසියේම බකමූණෙක් ‘සට සට’ හඬින් පියාපත් සලා බිය ජනිත කරවමින් ඉගිල ගිය විට තද කරගෙන සිටි මුත්‍රා ධාරාවට වින්සන්ගේ මුළු කලිසමම තෙමුණි. වින්සන් බිය පත්වූ විට මුත්‍රා පිටකිරීම පුරුද්දකි. බියෙන් කෑගැසූ ඔහු ක්ලාන්ත වී ‘දඩාස්’ ගා බිම ඇද වැටුණි. මියගිය හූනෙක් මුනින් අතට වැටී තිබෙන්නාක් මෙන් වින්සන්ද වැටී සිටියේය.
මඳ වෙලාවකට පසු වින්සන් දෑස් විවර කළේය. ඔහු දිගාවී සිටියේ යක්‍ෂයින් අරක් ගත් ඒ නිවසේ රේඛා දූෂණය කර, ඝාතනය කරන ලද ස්ථානයේමය.
★......................
තාරු අම්මාගේ පුළුල් ළය මධ්‍යයේ මුහුණ සඟවා ගන්නට උත්සාහ කළාය. අම්මාගේ මුවින් මුණු මුණු හඬක් නැඟෙයි. තාරුගේ මුහුණේ ඉරියව්වලින් හැඟවෙන්නේ නිදාගන්නට කතාවක් කියන්නැයි ඉල්ලා සිටි විට නිදා නොගන්නටම අම්මා කතාව කියන්නාක් මෙන්ය.
★......................
වින්සන් නැඟිට එබි එබී බැලුවේය. ඒ හොල්මන් නිවස තුළ කිසිවෙකුත් නැත. චිමිනි ලාම්පුවක් පමණක් දැල්වෙමින් තිබුණි. ලාම්පු චිමිනියේ කළු දුම් බැඳී ඇත. ‘කෝ යක්‍ෂයා? මේව සේරම සෝදල පිරිසිදුව තියාගන්න ඕන නේද?’ යි ඔහු තමාටම සිතින් කියා ගත්තේය. මුව විවර කර එවැන්නක් පැවසීමට බියය. කෙසේ හෝ එළියට දිව යා යුතු යැයි සිතා දොර අසලට ගොස් තල්ලු කරත්ම දඩස් ගා දොර විවෘත විය. එවිට ඔහු යළිත් වතාවක් එම ස්ථානයේ ක්ලාන්තව ඇද වැටී, මැරුණු හූනකු සේ සිටියේය.
ඔහුගේ මුහුණට දිය බිඳු වැටුණි. දෑස් විවර කළ ඔහු තම මුහුණ ආසන්නයට රැවුල වවාගත් මුහුණක් පැමිණ සිටගෙන සිටිනු දැක විලාප නඟා යළි ක්ලාන්ත වූයේය. යළිත් මුහුණට දිය බිඳු වැටී නැවත වතාවක් දෑස් විවර කළේය. ඔහු වටා කිහිප දෙනෙක් සිටගෙන සිටිති.
“මූණ කිට්ටු කරල බලන්න එපා. කොල්ල ක්ලාන්ත වෙනවා.”
පුහලේන්දි එසේ පවසත්ම සියලු දෙනා සිනාසුණහ.
“මල්ලි, ගමට යන්න නේද ආවෙ?”
පුහලේන්දි එසේ ප්‍රශ්න කරත්ම මඳකුදු ප්‍රමාද නොවූ වින්සන් ‘ඔව් ඔව්’ යි පිළිතුරු දුන්නේ බිල්ලට නියමවූවකුගේ ස්වරූපයෙනි.
“කනිමෝලි යාළුවා, ඔයා ඔයාගෙ කණ්ඩායමත් එක්ක බෙහෙත් බඩු සේරම අරගෙන සූදානම් වෙන්න. මරුදුයි, ඉනියවනුයි කෑම පාර්සල් ටිකත් උස්සගෙන ඔරුවට ගියා.”
එසේ පැවසූ පුහලේන්දි වින්සන් අමතමින් ‘ඔයාගෙ පැත්තෙ තියෙන පෙට්ටිය උස්සගෙන මගේ පස්සෙන් එන්න’ යි පැවසුයේය. සියලු දෙනාගේම උරහිස්වල එල්ලෙමින් තිබෙන තුවක්කු දෙස බැලූ පසු ‘පලයන් හරකෝ යන්න, මට විතරක් මේ පෙට්ටි උස්සගෙන එන්න පුළුවන් කමක් නෑ’ යයි වින්සන්ට කෙසේ නම් කිව හැකිද? පෙට්ටිය ඔසවාගෙන හිස මත තබාගෙන කම්බිය දිගේ ඇවිදින සර්කස්කාරියක මෙන් වින්සන් ඔහු පසුපසින් ගියේය.
ගම තුළින් එන්ජින් බෝට්ටු තුනක් පිටත්ව ගියේය. වෙලාව සවස පහ හමාර වන විට අඳුරු වී තිබුණි. එන්ජින් බෝට්ටුව ගංවතුරේ පැද්දෙමින් යන විට වින්සන් බෝට්ටුව තදින් අල්ලාගෙන ‘කොහොමහරි පණ පිටින් ගෙදරට ගිහින් දාන්න දෙවියනේ’ යි යාඥා කළේය. එවිට ඔහුගේ මුහුණට එබී බිය ගැන්වූ රැවුල් කාරයාගේ තුවක්කු කොන කොන්දේ ස්පර්ශ විය. ‘අර කහපාට බෑග්එක අරන් දියන්’ යි ඔහු අණ කළේය. වින්සන් වහ වහා බෑගය ගන්නා විට එහි තිබූ පොතක් බිම වැටුණි. එහි පිට කවරයේ ‘බොලිවියන් ඩයිරි’ යයි සඳහන්ව තිබුණි. වින්සන් වහා පොත අහුලා බෑගයට දමා රැවුල්කාරයාට දික්කළේය. ඊළඟ මොහොතේ වින්සන් ‘දැන් ගමට ඇවිත්ද?’ යි විමසා බැලීය. නිවාස ගං වතුරේ ගිලී ගොසිනි. ගඟ පිරී ගමට කඩා වැදී දින දෙකකි. පුංචි අම්මාගේ නිවසේ සිට පංති ගිය වින්සන් තම නිවස බැලීමට අද ගමට යමින් සිටියේය.
උස ගොඩනැඟිලිවල ජනතාව නතර කර තිබුණි. වින්සන් සිටි බෝට්ටුවට අමතරව තවත් බෝට්ටු දෙකක් ජනයා සිටි දෙසට ගොස් කෑම පාර්සලුත්, වතුර බෝතලුත් බෙදා දෙමින් තිබුණි.
බෝට්ටුවේ ඉදිරිපස සිටගෙන වින්සන් ගමන් කළේ අණ දෙන නිලධාරියකු ලෙසිනි. ඔහු ‘අර බලන්න, අර බලන්න’ යි කෑ ගැසූ විට බෝට්ටුවේ සිටි පස් දෙනාම හිස ඔසවා එදෙස බැලූහ. ගරුත්වයට ලක්විය යුතු අවුරුදු පනහක පමණ වයසැති අයෙක් වතුරේ පණ බේරා ගැනීමට දඟලමින් සිටියි. බෝට්ටුව ඔහු දෙසට ගියේය. ‘බාවා.... බාවා....’ යි වින්සන් හඬ නැඟුවේය. බාවාගේ එළුවෝ උස් ගොඩනැඟිලි සහිත භූමියේ සිටියහ. ඔහුගේ සෙන්පහවල්ලි පමණක් ගං වතුරට හසුව ගොස්ය. සෙන්පහවල්ලි යනු බාවාගේ බිරිඳගේ නමයි. ගං වතුර ඔවුන් දෙදෙනාව වෙන් කළේය. ඇයගේ මතකය ලෙස ශේෂ වූයේ ඒ එළදෙන පමණි. දෙදෙනා ඒ එළදෙනගේ අම්මා මිල දී ගන්නා විට එළදෙන කුඩා පැටියෙකි. මව් එළදෙන මියගිය පසු බාවා අම්මාගේ නම දියණියට තැබුවේය.
බෝට්ටුවේ සිට පුහලේන්දි සමග එක්වූ තිදෙනෙක් වතුරේ ගිලී ගිය සෙන්පහවල්ලිගේ සිරුර සොයා ගැනීමට උත්සාහ කළහ. වින්සන් පීනන්නට නොදත් බැවින් බෝට්ටුව තුළටම වී සිටියේය. සෙන්පහවල්ලිව සොයාගෙන ආරක්‍ෂිතව රැගෙන ගොස් ඒ ප්‍රදේශයේ තිබූ දෙමහල් ගොඩනැඟිල්ලේ උඩ තට්ටුවේ තැබූහ. බාවා සෙන්පහවල්ලිව වැලඳගෙන හාදු වැස්සක් දුන්නේය.
ඈතින් වෙඩි හඬක් ඇසුණි. නොඉවසිලිමත් වූ පුහලේන්දිත්, අනෙත් අයත් බෝට්ටුවට පැන නැගී හඬ ආ දෙසට පිටත් වූහ. වින්සන් කුමක් කරම්දැයි නොදැන සිටගෙන සිටියේය. හඬ ආ දිශාව සොය සොයා බෝට්ටුව ඇදී ගියේය. එහි මරුදුත්, ඉනියවනුත් සිටියහ. මොහොතක් තිගැස්සී ගිය පුහලේන්දි ‘කනිමොලිගෙ බෝට්ටුව කෝ?’ යි ප්‍රශ්න කළේය.
“කනිමොලි ඔයාල හොයාගෙන තමයි ආවෙ. ඔයාල දැක්කට පස්සෙ වෙඩිල්ලක් පත්තු කරන්නම් කියල දැනුම් දුන්නා. පරක්කු වෙනකොට කනිමොලිට අමතක වේවි කියල අපි වෙඩිල්ල පත්තු කළා. උත්තරයක් නෑ.”
එසේ පවසනු ඇසෙත්ම පුහලේන්දි හිසට අත තබා බෝට්ටුවේ හිඳගත්තේය. වින්සන්ටද මඳ අසහනකාරී බවක් දැනුණි. ඔහුගේ සිත බිඳී ගියේය. ඔහු මැලවී යන්නට වූයේය. සියලු දෙනා කම්පනයට පත්ව සිටි බැවින් ඔහුගේ ස්වරූපය කිසිවකුගේ හෝ අවධානයට ලක් නොවුණි.
කනිමොලි සොයා බෝට්ටු සිව්දෙස රවුම් ගැසීය. අඳුරු වී තිබූ බැවින් ඈතින් තිබෙන දේවල් හොඳින් දර්ශනය වූයේ නැත. ඔවුහු ඔහුව සොය සොයා වෙහෙසට පත්වූහ. කෑ ගැසූහ.
ඈතින් ආලෝකයක් දිස්විය. වින්සන්ද එහි සිදු වන්නේ කුමක්දැයි බැලීමට උත්සාහ කළේය. උත්සාහය අසාර්ථක විය. බෝට්ටුව ආලෝකය බලා ඉගිලුණේය. එහි කනිමොලි පැමිණි බෝට්ටුව පමණක් වතුරේ පාවි පාවී තිබුණි. කනිමොලිගේ පපු පෙදෙස පුරා ලේය. මුහුණේද ලේ තැවරී ඇත. වින්සන් අඬා වැලපෙමින් කෑ ගසාගෙන වතුරට පැන අපහසුවෙන් ඒ බෝට්ටුවට ගොඩවිය.
වින්සන් ‘අක්කේ... අක්කේ...’ යි හඬ නඟමින් ඇගේ මුවට වතුර ඉස්සේය. ඔහුගේ අක්කා දරුවකු ළමැදේ තබාගෙන දිගාවී සිටියාය. කනිමොලිගේ අතේ තවත් දරුවෙකි. නිවුන් ගැහැනු දරුවන් දෙදෙනෙකි. කනිමොලිගේ අතේ සිටි ගැහැනු දරුවා මියගොසිනි. අනෙත් දරුවා වින්සන්ගේ අක්කාගේ තනපුඩුව උරමින් සිටියාය. ඒ කුඩා දැරිය තාරුය.
එදා වින්සන් තම අක්කාට පැවසූ මේ කතාව අද ඈ තාරුට භාරදුන්නාය.
“එයත් හිටියා නම් මම වගේම ඉඳීවි නේද අම්මේ?”
තාරු එසේ පවසත්ම අම්මා තාරුව තදින් වැළඳ ගත්තාය.
“අම්මේ, දැන් මාමා කෝ?”
“අවුරුදු දාසයේදි තමයි මාමා ඒ දේශප්‍රේමි සංවිධානෙට එකතු වුණේ. අප්පා...! මගේ මතකෙ උඩට එනකොට ම ආයෙ යට යනවා. රටේ කලබල තිබුණ නිසා මාමා හැංගිලාම තමයි හිටියෙ. හැම දෙයක්ම හරිගියාට පස්සෙ මාමා ඔයාව බලන්න ඒවි.”
අම්මාගේ දෑසින් කඳුළු බිඳු වෑහුණි.
තදින් දොරට තට්ටු කරන හඬක් ඇසුණි. අම්මා බියෙන් හා නොඉවසිල්ලෙන් බල්බ් ස්විචය දමා දොරේ සිදුර ඔස්සේ බැලුවාය. දොරට හේත්තු වී සිටින්නේ වින්සන්ය. ඈ දොර විවෘත කළාය. වින්සන් අක්කා මතට වැටෙන්නට ගිය අතර ඈ ඔහුව දරාගෙන අල්ලා ගත්තාය. වින්සන්ගේ ශරීරය තුවක්කු උණ්ඩවලින් සිදුරු වී තිබුණි.
තාරුගේ උපත සිදු වූ සෙන්තාරකෛ බෝට්ටුවේ එන විට හමුදා ප්‍රහාරයකට හසුව බෝට්ටුව කැඩී බිඳී විනාශව ගියේය. මෙතරම් දුරක් දිවි බේරාගෙන පීනා ආ තැනැත්තා වින්සන්ය. තාරුගේ සම්පූර්ණ නම සෙන්තාරකෛය.
අක්කාගෙ ළය මත දිගාවී සිටි වින්සන්ගේ දෑස්වලට තමා ඉදිරියේ තිබූ අම්මාගේ හා තාත්තාගේ පිංතූර දර්ශනය විය. විවරව තිබූ වින්සන්ගේ දෑස්වලින් කඳුළු පිට විය. අම්මාගේ පිංතූරයේ ස්ටෙල්ලා යනුවෙනුත්, තාත්තාගේ පිංතූරයේ කදිරවන් යනුවෙනුත් ඔවුන්ගේ උපත, විපත ආදී විස්තර සමග මුද්‍රණය කර තිබූ අතර පිංතූරවලට මල්දම් දමා තිබුණි. එම මල්දම් මැලවී ගොසිනි.
--------------
මුතුබණ්ඩා ළන්තෑරුමට භූමිතෙල් පුරවාගෙන පැල් රැකීමට යෑමට සූදානම් විය. වතුර බෝතලයත් ට්‍රාංසිස්ටර් රේඩියෝවත් බහාලූ පං මල්ලටම අම්මා කෙසෙල් කොළයේ ඔතා දුන්, ලුණුමිරිස මැද්දට තැබූ රොටියත් දමාගත් ඔහු බැස යන හිරුට පිටු පා ගෙදරින් පිට විය. ගොම්මන් කළුවර ගමේ ළඳු කැලෑ අතරින් එබිකම් කරමින් තිබිණි. පළඟැටියන් එකා දෙන්නා රාත්‍රී ගායන පටන්ගෙන ගත්හ.
ගම් සභා පාරේ මඳක් තැන් ගිය ඔහු, අතුරු පාරකින් මෙදෙසට ඇවිදගෙන එන සරත් දැක මඳකට නතර විය. ඔහුට තම මිතුරා මුණගැසුණේ කලකට පසුවය.
"සරත් කවදද ආවෙ?" එසේ අසන විට ඔහුගේ මුහුණේ රැඳුණේ පරණ මිතුරුකමේ ළෙන්ගතුකමය.
"අද උදේ. මම ඒ පැත්තෙ එන්නත් කල්පනා කරල නිකන් හිටියෙ බණ්ඩෙව හැන්දෑවෙ පැලට යනකොට හම්බ වෙනව කියල දන්න හින්දයි."
සරත් කීවේ වම් අතේ එල්ලාගෙන ආ පංමල්ල දකුණතට මාරු කරමිනි. ඔහු ඉඳහිට ගමට ආ දාට පැල් රැකුමක් තිබුණොත් මහත් කැමැත්තකින් ඊට සහභාගි වෙයි. ඔහු එල්ලාගෙන සිටින මල්ලේ ඇත්තේ වතුර බෝතලයත් රෑකෑම වේලත් බැට්‍රි කෑලි දෙකේ විදුලි පන්දමත්ය. මිතුරන් දෙන්නා ආ ගිය තොරතුරු කතාබහ කරමින් කුඹුරු යායට ඇවිදගෙන යන්නට වූහ. ඔවුන්ගේ මඩ ඉඩම් දෙක තිබුණේ එක ළඟය. ඊට යෑමට වෑ කණ්ඩියට ගොඩවී එහා ඉම තෙක් ඇවිදගෙන යා යුතුය.
"මේ සැරේ සරත් ගමට ආවෙ හුඟ කාලෙකට පස්සෙ නේද?"
"ඔව් බණ්ඩෙ. දැන් මුදලාලි කැමති නෑ අපි වැඩියෙ නිවාඩු ගන්නවට. දැන් එයාලට හොඳට සල්ලි තියෙනවා. නොච්චියාගම පළාතෙ හුඟ අය එයාලගෙ කඩේට එනව. මුදලාලි අලුතෙන් අපේ රටට ගෙනාව අර පිංතූරු පෙනෙලා ටෙලිවිෂන් පෙට්ටියකුත් දැනටමත් අරගෙනයි තියෙන්නෙ. ඒත් අනුරාධපුර පැත්තට තවම රූප පෙනෙන් නැතිලු."
සරත් කීවේ තමාගේ ස්වාමියා ගැනය.
මුදලාලි ඉස්සර සිටියේ මේ ගම් පළාතේය. එවිට ඔහු ගෙයි ඉස්සරහින් පොල් අතු සෙවිලි කර පුංචි කඩ කෑල්ලක් ඉදිකරගෙන සිල්ලර බඩු ස්වල්පයක් අලෙවි කළේය. ඒ දවස්වල මුතුබණ්ඩා නිතරම එහි යන්නට මනාප විය. ඔහු එසේ එනු දුටුවොත් මුදලාලිගේ දුව සමන්මලීද ගෙයි කොතැනක හෝ සිට එබිකම් කරන්නට පුරුදුව සිටියාය. දෙන්නා ගියේ වෙනත් ගමක පාසලකටය. එලෙසින් ගියේද එකටය. සරත්ද ඔවුන් සමඟ එකට පාසැල් ගියේය. සමන්මලීගේ තාත්තා දක්ෂය. ඔහු තමාගේ පුංචි කඩකෑල්ලට බඩු ගෙන ආවේ නොච්චියාගමෙන්ය. ඒ ගිය හැම විටකම ඔහුගේ අවධානය යොමු වූයේ එහි වෙළඳසැල් වෙත නිතරම ඇදෙන ජනතාව ගැනය. වෙළඳාමට හොඳ පළාතකැයි ඔහුට හැඟුණි. එහි කඩ කාමරයක් කුලියට දීමට දීමට තිබූ සැණින් ඔහු එය අත්පත් කර ගත්තේ එබැවිනි.
සමන්මලීලා මේ ගම අතහැර නොච්චියාගමට ගියහ. ඇය අනුරාධපුර පැත්තේ වෙනත් පාසලකට මාරු වූවාය. මුතුබණ්ඩා ඉඳහිට සරත් සමඟ ගොස් ඇය හමු වූයේය. එහෙත් ඇගේ උනන්දුව මඳ බව දැනගත් කළ ඒ ගමනද සීරුවෙන් නැවතී ගියේය. එහෙත් ඔහුගේ සිතේ ඇය රුඳී සිටියාය. ඔහු හැමදාමත් මිතුරා එනතුරු ඕනෑකමින් බලා සිටියේ ඇය ගැන තොරතුරු දැන ගැනීමටය. එහෙත් එකවරම ඔහු ඒ කතාවට වැටෙන්නේ නැත.
වැව් බැම්ම දිගේ ඔවුන් ඇවිදගෙන යන විට ඈත ගම්මානයකට එහායින් ඉර බැස ගොස් අහස දම් පාට වී තිබිණි. වැව් ඉයුරේ කෝන් ගස් යායේ රැහැයියෝ නාද පතුරවන්නට පටන් ගෙන ඇත. මුතුබණ්ඩා මිතුරාගෙන් සමන්මලී ගැන යම් යම් දේඇසූවේය. සරත්ද දන්‌න දේවල් කීවේය. ඔවුන් ඇවිදගෙන ආ වැව් කන්දෙන් බැස වෙල්යායේ ඇවිදගෙන යන විට නැෙඟනහිර දිසාවෙන් සඳ නැගීගෙන එමින් තිබුණේය. වලාකුළුලින් තොරඅහසේ තැනින් තැන තරු කීපයක්ද පායා තිබිණි.
යායේ බොහෝ පැල්පත් ඉදිකර තිබුණේ ගස් මතය. තැන තැන ඉතිරි කර තිබුණ රූක්ෂ ගස් මත පුංචි පැල්කෙටියක් ඉදි කර ගන්න හැකි අන්දමට අතු ඉති විහිදී තිබිණි. මිතුරන් දෙදෙනාගේ පැල්පත් පිහිටියේ එතරම් ඈතකින් නොවේය.
මුතුබණ්ඩා තමන්ගේ පැල්පත ළඟ නතර වූ අතර සරත් එහා කුඹුරට ඇවිදගෙන ගියේය. එවනවිට අඩ අඳුරින් පරිසරය වැසී යමින් තිබිණි.
ගස මත වූ පැල්පතට ගොඩ වූ මුතුබණ්ඩා ළන්තෑරුම දල්වා පැල වහලයේ වූ කොක්කේ එල්ලා තැබුවේය. අනතුරුව එළා ඇති පැදුර මත වාඩි වීගෙන රේඩියෝ එක පන ගැන්වූවේය. හැමදාමත් ඇසුවේ එකම ගුවන් විදුලි සේවයකි. බොහෝ අය සවන් දුන්නේ රජ රට ගුවන්විදුලි සේවයටය. හඳ පායාගෙන එන රාත්‍රියක සන්සුන් ගීත රාවයක් ඇසෙන විට අමුතුම චමත්කාරයක් මැවෙයි. යායේ සමහර උස් ගස්වල පැල්පතක ඉඳ දවාලට බලන කල රුවන්වැලිසෑයේ කොත් කැරැල්ලද පෙනෙයි.
සතියකට වරක් සවස් යාමයේ ගුවන්විදුලියෙන් ඇසෙන රජරට කවි වැඩසටහන හරිම අපූරුය. එය ප්‍රචාරය වන්නට පටන් ගත්තෙන් මුතුබණ්ඩා රේඩියෝවේ හඬ වැඩි කළේය. ඈතින් ඇසෙන පැල් කවි රාවයක් මෙන් එය පැතිර යන්නට විය. පැල් රකින බොහෝ අය ට්‍රාන්සිස්ටර් රේඩියෝවක් පැලට ගෙන යාම පුරුද්දක් කරගෙන තිබිණි. රජරට ගොවියාගේ ළසෝරාවය බවට එය පත්වී තිබිණි. මොවුනගේ ජීවිතවලටද නිරායාසයෙන්ම කවිය බද්ධ වී ඇත්තේය.
'පැලේ පැදුර හොරු අරගෙන ගියාදෝ' බඳු කවි නිතරම ඔවුනගේ මුවග රැඳී තිබිණි.එලෙසින්ම රජ රට ගුවන් විදුලියේ කවි වැඩසටහනද පැල් රැකීම හා බැඳී පැවතිණි. පැලේ පොල් අතු සිදුරු අතරින් සඳ රැස් ගලාගෙන එයි. මුළු වෙල් යායම අර්ධ දවාලක් මෙන් එළිය වී ඇත. එක එක කවි කිවිඳියන් නිර්මාණ ළයාන්විත ලෙසින් ගායනා වෙනු රේඩියෝවෙන් ඇසෙයි. මුතුබණ්ඩා පැළලි බිත්තියට හේත්තු වීගෙන අසා සිටියි. එවර තවත් කිවිඳියකගේ නම කියැවෙන්නට විය.
“සමන්මලී සඳනැගිගේ”
ගුවන්විදුලියෙන් ඒ නම ඇසෙත්ම ඔහු කලබල විය. වහාම නැඟිට බිමට අතුරා ඇති ලෑලි බිම මත වාඩි විය. ගායිකාවක විසින් කවි පෙළ ගායනා කරනු ලැබීය. එය විරහ රසයෙන් යුතු වූවකි. එහි එක් කවික පෙදක් ඔහුගේ සිතේ රැඳී නතර විණි.
“වෙන් වුණ සබඳ පෙම්වත් සිත මවෙත තියා
මතකය සදාකාලික අමතකව නොයා...”
සමන්මලී මේ කවි පෙළ ලියා ඇත්තේ කා වෙනුවෙන්ද? තමා සිතුවාට වඩා ඇය ආදරයෙන් බැඳී සිටියි. ඔහු තුළ එකවර ඇති වුණි. දුකක් දරා ගැනීමට බැරි තරමේ ඔහු ලන්තෑරුමද අතකින් ගෙන වහා ගසෙන් බැස ගත්තේය. කෙළින්ම ගියේ මිතුරගේ පැල වෙතය. මේ ආරංචිය මිතුරාට කියන තුරු ඔහුට ඉවසුමක් නැත. මින්පසු ඔහු සමන්මලීගේත් තමාගේත් සෙනෙහසට කෙලින්ම උදව් කරනු ඇතැයි ඔහු සිතුවේය. සිත තුළ කිසියම් ආඩම්බර හැඟීමක්ද මතුව එන්නට විය.
"මොකද බණ්‌ඩෙ?" සරත් තුළ මඳ විමතියක් ඇති වුණේ මිතුරාගේ විලාසයටය.
කතාව කෙලෙසින් පටන් ගත යුතුදැයි මුතුබණ්ඩාට එක වරම සිතාගත නොහැකි විය. ඇය තමා අමතක නොකර තවදුරටත් ආදරයෙන් බැඳී සිටින බව අසා මිතුරාද පුදුම පත් වනු ඇතැයි ඔහුට සිතිණි. වචන ඇදපැද ලමින් ඔහු මිතුරාට රේඩියෝවේ ගිය කව් පෙළ ගැන කියා ගත්තේය. මෙය ඇසූ මිතුරාගේ පුදුමයට පත් වන මුහුණ දැකීමට ඔහු බලා සිටියේය. එහෙත් මිතුරා කීවේ වෙනත් දෙයකි.
"සමන්මලී ඔය වගේ කවි ලියන එක පුදුමයක් නෙමෙයි බණ්ඩෙ, පහුගිය දවස්වල එයාලගෙ ගෙදර කාමරයක් කුලියට අරන් තරුණ ඉස්කෝල මහත්තයෙක් බෝඩින් වෙලා සිටියා. දෙන්න අතර සෑහෙන කාලයක් ලොකු සම්බන්ධයක් තිබුණා. ඒත් ගුරුවරයා හොරෙන්ම මාරුවක් හදාගෙන ගිහිල්ල දැන් මාස හත අටක්ම වෙනවා. කිසිම ආරංචියක් නෑ. සමන්මලීට දරුවෙක් ලැබෙන්න හිටියයි කියල ආරංචියකුත් කනින් කොනින් පැතුරුණා."
මුතුබණ්ඩාට කිසිවක් සිතාගත නොහැකි විය. ඔහු එහෙමම කොට්ටන් ගහ යට ලොයි බංකුවේ වාඩි විය. සරත් තමාගේ මුහුුණ දෙස බලා සිටිනවා ඔහුට පෙනිණි. එහෙත් මුතුබණ්ඩා හිස එසවූයේ නැත. සරත් තවත් දේ කීවත් ඒවා මුතුබණ්ඩාට ඇසුණේද නැත. ඔහු මොහොතක් එහෙමම සිට පසුව නැඟී සිටියේය. දැන් ඔහු සරත්ගේ මුහුණ දෙස බැලුවේය. එහි කිසියම් ජයග්‍රාහී මුහුණක් තැවරී තිබෙනු දුටු මුතුබණ්ඩා ආපසු සිය පැල්කොටය වෙත පිය තැබුවේය.
රැස පුවත්පතින්
“…. නොම්බරේ හොයා ගත්තෙ අලුත ලිව්ව පොතකින්. කතා කරන්ඩ කැමතියි. මම ඉන්නෙ දුවත් එක්කලා. ටිකක් අසනීපෙන්. දැන් ජීවිතේ කෙටියි. කැමති දවසක ඇවිත් යන්ඩ.”
යන්ට සිතුණේ ජීවිතේ එහෙම පිටුවක් දෙකක් තියෙන්නත් ඕනැයි සිතුව නිසා. ඩ්‍රැයිවර කඩුගන්නාව නඟින්නෙ බොහොම වයසක විදිහට. වීදුරුවෙන් මූණට වැටෙනවා උදේ කහපාට ඉරඑළිය රැලි රැලි. ඩ්‍රැයිවරට පාරත් වැරදුණා.
තානායම නෙවෙයි අයිසෙ. ආරාමය ළඟින්. දකුණට හරවන්ඩ. දෙවෙනි ගෙදර. කොළපාට ගේට්ටුව. ආරාමය! මිනිහා පොඩි හිනාවක් දැම්මා.
ස්වීචය එබූවත් හඬක් ඇසුණෙ නෑ. ඇතුළට ඇහෙන්න ඇති. දොර ඇරියෙ ඈමයි.
අඳුරන්ඩ පුළුවන්ද?
අප්පේ…. අවුරුදු 50කට විතර පස්සෙනෙ.
හිඳගත් විගස ඇය කීවේ තේ ටිකක් බොමු කියලයි. නැඟිට යන විටයි මම දුටුවේ හෙමිහිට ඇවිද යන රුවක්. බිත්තිය දිගටම අතක් ඇදගෙන ගියේ.
ඔන්න සීනි නැතුව කෝපි…. එදා බිව්ව විදිහට…. හරිද?
ගැහැනුන්ගේ මතක සිත පුදුම සහගත දෙයක්.
කොහොමද ජීවිතේ….? වැඩි කුතුහලයකින් නොවෙයි මම ඇසුවෙ.
දුව සැලෝන් එකක් කරනව. බඳින්නෙ නැහැ වගේ. අපි දෙන්නා හොඳින් ඉන්නව.
ඈ දිගටම කියාගෙන ගියා.
දේශප්‍රිය නැති වුණේ අවුරුද්දකට ඉස්සෙල්ලා.
අහන්නට අමුතු දෙයක් මට සිතුණෙ නැහැ. කතා කරන්නත් අවශ්‍යයි.
….. මම පත්තරෙන් දැක්කා. මේ ගෙදර පෙනුම හරි ගාම්භීරයිනෙ. මං කැමතියි. ඒ වුණත් අර ගේට්ටුව උඩින් යන සිමෙන්ති තොරණ. ඒක අහංකාර පෙනුමයි.
ඇය අසා සිටියේ සිනාවකින්.
ඒක දේශප්‍රියගේ කැමැත්තක්. ඇමතිවරු එහෙමනෙ.
නිහඬකමක් ඇති වුණා. දැන් අසාවියි සිතන විටම ඇය කවිය ගැන කථා කළා.
මතකද ‘70 දි ලියූ කවිය? දේදුන්න පායාවි හෙටත් පාලම උඩින්.
මම මුකුත් කීවේ නැහැ.
…. මතකද?
ඇය වචන කටපාඩමෙන් කියන්නට වුණා.
දේදුන්න පායාවි හෙටත් පාලම උඩින්
ඔබ නැතත් මම එතැන පාට හත ගණින්නම්
සූරලා ගෙන යන්න මා හදේ පිපුණ මල්
මල් නඟන වසන්තය ඔබට ගෙන යා හැකිද?
මේ වචනවල හොඳ ලස්සනක් තිබුණා. හුඟක් ඈයො ඒකට වශී වුණා.
මොකද ඒ ගැන අද ඔයා හිතන්නෙ?
මට මුකුත් ඒ ගැන හිතෙන්නෙ නැහැ. මං හිතන්නෙ ඔයාටත් එහෙම වෙන්ඩැති.
යන්තම් සිනාවකින් ඇය සිටියෙත් ඒක එහෙම තමයි කියන්නාක් වගේ.
ඩ්‍රැයිවර උන්නැහේ බූතයෙක් වගේ මිදුලේ එහා මෙහා ඇවිදිනවා. ගෙයි ලොකු කන්නාඩි තලයකට හිරු රැස් වැටී දිස්නයක් නැඟෙනවා. ඒ කැඩපතේ පින්තූර මුකුත් වැටිලා නැහැ. “මිරර් ඉස් නොට් මිරරින්.” මට යම් ඉංග්‍රීසි කවි පදයක් සිහි වුණා.
මේ…. සූරලා අරන් ගිය මල් නම් සේරම මැරිලා!
ඇය කීවේ ඔලොක්කුවට මෙන්.
හැබැයි ඉඳහිට මලක් දෙකක් පිපී පරවී යනවා.
කතා කරන්ඩ දෙයක් නැතුව ගියා.
…. ගිහිල්ලා එන්නම්. ගෙවෙන කාලයේ අරුතක් නැතැයි සිතුණා. ඇය හිස සලන්නේ ආයෙමත් නොඑන බව හොඳින් දැනගෙනයි. දොර ළඟදි ඇය නැවතී කතා කළේ කියන්නට සූදානමින් සිටි දෙයක් කියන්නාක් විදිහටයි.
…. ඔයා වගේ කල්පනා ලෝකයක් එක්ක මට බැරි බව එදා මට තේරුණා. ඒ ගෑනු ඉව. මං වගේ විසේසයක් නැති ගෑනියක් එක්ක ඔයාටත් බැරි බව ඔයා හොඳට තේරුම් ගන්ඩ ඇති. ඉතින් මේවා එහෙම වුණ එක කොච්චර හොඳද නේද?
…. මට තේරෙනවා. කියවුණේ මට ඒ වචන දෙක විතරයි. කාරයේදී කවිය වෙනස් වෙනවා.
අදත් ඔබ ඇත
පාලමත් එතැන ඇත
මාත් ඇවිත් ඇත
දේදුන්න පායාවි
එහෙත් එහි අමුතුවෙන් ගණින්නට
පාට නැත…..
***********
උදාවන හිරුගේ රිදීවන් රැස් දහරා බෝපත් අතරින් පෙරී අවුත් බෝ මළුව සිප ගනිමින් තිබුණා. සිහින් සුළඟක් හමා ගියේ බුදු කුටිය අබියස දැල්වෙන හඳුන්කූරු සුවඳ අවට වාතලයට මුසු කරමිනුයි. සුදුවතින් සැරසුණ උපාසක උපාසිකාවන් ධර්‍මශාලාවේ සන්සුන් ඉරියව්වෙන් හිඳගෙන භාවනා වැඩසටහනට සූදානම් වුණා.
“එහෙමනම් පින්වත්නි හිතත් කයත් සංවර කර ගන්න. ඔබ හැමදෙනාම මේ ස්ථානයට පැමිණෙන විට ඔබේ සිත් තුළ තිබුණ නොයෙකුත් කල්පනාවන් මඳකට හිතෙන් බැහැර කරන්න. දෑත් ඉදිරියේ තබාගෙන දෑස් පියාගන්න. දැන් විනාඩි පහක් ආනාපානා සති භාවනාවේ යෙදෙන්න.”
විශ්‍රාමලත් පාසැල් ගුරුවරියක වූ සුමේධා මහත්මිය ද දෑස් අඩවන් කර ගනිමින් ආනාපාන සති භාවනාව ඇරඹුවා. සෑම ඉරු දිනක ම මාතර බෝසමිඳු අබියස පැවැත්වෙන භාවනා වැඩසටනට ඇය කාලයක සිට සහභාගී වුණේ එයින් ඇගේ ජීවිතයට කිසියම් සහනයක් ළඟා කර ගැනීමට හැකි වේවි යන අදහසින් යුතුවයි. ආනාපාන සති භාවනාවේ යෙදී සිටි පිරිස විනාඩි පහක පමණ කාලයක් එකී ව්‍රතයේ නියැළී සිටියා.
“පින්වත්නි දැන් දෑස් විවර කරන්න. ඊළඟ භාවනාවට අපි සූදානම් වෙමු. දැන් මෛත්‍රී භාවනාව වඩන්න පින්වතුන් සූදානම් වෙන්න.”
සුමේධා මහත්මිය සිය දෙනෙත් විවරකර වට පිට බැලුවා. පිරිසක් චෛත්‍යය අබියස මල් පහන් පූජාවේ නියැළී සිටි අතර, තවත් පිරිසක් බෝධීන් වහන්සේ වටා දිය බඳුන් රැගෙන පෙළ ගැසී බෝධි පූජාවේ යෙදී සිටින අයුරු ඇගේ දෙනෙතට හසු වුණා. ඒ අතර සිටි එක් පුද්ගලයකු ඇස ගැටීමත් සමඟ සුමේධා මහත්මියගේ සිත ගැස්සිලා ගියා. ඇය විමසිල්ලෙන් යුතුව ඒ දෙස නෙත් යොමා සිටියා.
‘දෙයියනේ සමරජීව වතුර භාජනේකුත් අරගෙන බෝධිය වටේ යනවා. හ්ම් එහෙනං එයාටත් ආගම මතක් වෙලා. කරපු පව් හෝදගන්න වෙන්න ඇති. ඒ මනුස්සයත් මෙතෙන්ට ම ආව හැටි, මං මේ කාලෙක ඉඳන් කරගෙන ආ වැඩේ කඩාකප්පල් කරන්න. මාව ඉන්නව දැක්කද දන්නෙ නෑ. යන්තං හිත එකලාසයක් කරගෙන භාවනා කරන්න ලෑස්ති වුණා විතරයි. දැන් ඉතිං ඒ වැඩෙත් ඉවරයි. අනේ ඇත්තට කවදාවත් නැතිව මේ මනුස්සය මෙතෙන්ට ආව එකනේ පුදුමෙ. රැවුලත් වවාගෙන හරිහමං ඇඳුමක්වත් ඇඳල නැතුව’
“පින්වත්නි දැන් මෛත්‍රී භාවනාව ආරම්භ කරන්න. මම නිදුක් වෙම්වා, නිරෝගි වෙම්වා, සුවපත් වෙම්වා. මම වාගේ සියලු සත්වයෝ....
සුමේධා මහත්මියගේ සිත නොසන්සුන් වෙලා. ඇය හිත එකලාසයක් කරගන්න උත්සාහ කළත් පලක් නොවන බව ඇයට හැඟී ගියා. දැන් ඉතිං භාවනාව තියෙද්දි වහන්වෙලා ඉන්න ඕන. මාව දකිනවටවත් මං කැමති නෑ. මගේ මුළු ජීවිතේ ම කාලකන්නි කරපු මිනිහ. ගෙදර ගෙනත් තියාගෙන හිටපු ගෑනිත් මේ මෝඩ මිනිහ හූරගෙන කාල වෙන එකෙක් එක්ක පැනල ගිහින් කියලත් ආරංචියි. ඒක තමයි ආගම මතක් වෙන්න ඇත්තෙ. එක අතකට එයා හිටිය කියල මොකද. එහෙම ඉඳල යාවි නේ. මම මගේ වැඩේ කරගන්න ඕන. සමරජීව වතුර භාජනයත් අරගෙන බෝධිය වටේ ඇවිද යන දසුන දෙස ඇය මඳ වෙලාවක් බලා සිටියා.
‘පවු කියල හිතෙනව දැන් එයාගෙ ඉඩකඩම් හුඟක් විකිණිල කියලත් ආරංචියි. මෝඩයා... එයා මගේ ජීවිතෙත් නාස්තිකරල එයාගෙ ජීවිතෙත් නාස්ති කරගත්ත. ඒකාලෙ මම කොහොමට හිටිය කෙනෙක්ද. මට මෙහෙම වේවි කියල හීනෙකින්වත් හිතුවද’
“පින්වත්නි දැන් කවුරුත් ඇහුම්කන් දෙන්න....
සුමේධා මහත්මිය ගේ මනෝලෝකය එක්වරම කඩා වැටුණා. ඇය හාමුදුරුවන් වෙතට නෙත් යොමුකරමින් හිත සන්සුන්කර ගැනීමට උත්සාහ කළා. ඒත් ඒ උත්සාහයත් ව්‍යර්ථ කරමින් ඇගේ සිත නැවත හෙමි හෙමින් අතීතය කරා පියාසර කළා. ඇගේ විවාහ ජීවිතය කඩාකප්පල් වෙලා ගිය හැටි, ඒ එක් එක් අවස්ථා සිතුවම්පටක් මෙන් ඇගේ මනස ඉදිරියේ දිගහැරෙන්න පටන් ගත්තා. ඇයට ඇගේ පාසැල් කාලෙ සිදුවුණ සිදුවීම් පවා මතකයට නැඟෙන්න වුණා. සමරජීව හිටියෙ මට වඩා වසර දෙකක් ඉහළ පන්තියක. දවසක් එයා මගේ යාළුවෙක් අත මගෙන් අහල එව්ව එයා එක්ක යාළුවෙන්න කැමතිද කියල. මම එදා එයාට මගේ අකැමැත්ත දන්වල යැව්වත් එයා ඒ අදහස අත්ඇරගෙන තිබුණෙ නැහැ. එයා හැම තිස්සෙ ම උත්සාහ කළා මාව නම්මගන්න. ඒත් මම කොහොම හරි බේරිල හිටිය. පස්සෙ එයා අධ්‍යාපනෙත් කඩාකප්පල් කරගෙන පාසැලෙන් අස්වෙලා ගියා. එහෙම ගිහින් එයා බිස්නස් කරන්න පටන්ගත්ත. මට ගුරු පත්වීමක් ලැබුණා. ඔය අතරවාරෙදි තමයි සමරජීව අපේ ගෙදරට මංගල යෝජනාවක් ගෙනාවෙ. මගේ ඒත් කැමැත්තක් තිබුණෙ නැහැ. ඒත් එයාලට දේපළ හෙම තියෙන නිසා අම්මල තාත්තල කැමති වුණා. අන්තිමේදි මටත් ඒකට කැමති වෙන්න සිද්ධ වුණා. එහෙම තමයි අපේ විවාහය කෙරුණෙ. එහෙම විවාහ වෙලා අවුරුදු දෙකක්වත් අපිට එකට ඉන්න බැරි වුණා. බැඳල ටික කලකින් මට සමරෙ ගැන එක එක නරක ආරංචි අහන්න ලැබුණා. මම ඒව ගණන් ගන්නෙ නැතුව ඉන්න හුඟක් මහන්සි ගත්තා. කොහොම වුණත් එයාට විවාහ ජීවිතේ ගැන තේරුමක් තිබුණෙ නැහැ. එයා හිතුවෙ කන්න බොන්න අඩුපාඩු නැතුව තිබුණ ම ඇති ය කියල. කොහොමහරි මම දුකෙන් අසහනයෙන් ඉන්න බව ගෙදර ඩ්‍රැයිවර්ට තේරිලා එයා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න උත්සාහ කළා. ඒත් මම ඒවට අහුවුණේ නැහැ. ඒ වුණාට සමරෙ මාව අවිශ්වාස කරන්න පටන් ගත්තා. අපි අතරෙ නොහොඳ නෝක්කාඩුකම් ඇතිවුණා. ඒ විදියට දිගෙන් දිගට අරෝවල් ඇතිවෙන්න අරගෙන මට ඒ ජීවිතේ ම නීරස වුණා. එපා උණා. ඒකෙ අවසාන ප්‍රතිඵලය වුණේ මට එයාගෙන් අයින් වෙන්න සිද්ධ වුණ එකයි. එක අතකට මට දැන් හිතෙනව මමත් ඉක්මන් වුණා වැඩිද කියලත්. මොකද අපි පුරුදු වෙල තියෙන්නෙ තමන් හරි අනෙක් කෙනා ම වැරදිය කියල හිතන්නනේ.
“පින්වත්නි දැන් කවුරුත් භාවනාවෙන් මඳක් ඉවත් වෙලා. ටිකක් විවේක ගන්න. ඊළඟට අපි තවත් භාවනාවකට යොමු වෙමු.”
සුමේධා ගුරුවරිය වට පිට බැලුවා. බෝධි පූජාවෙ යෙදිල සිටි හුඟ දෙනෙක් ඉවත්වෙලා ගිහින් සමරජීවත් පේන්න නැහැ. ‘පවුකාර මනුස්සය... හැටි දැක්ක ම දුකත් හිතෙනව. අද මේ භාවනා වැඩේ හරියන්නෙ නැහැ. මෙහෙම ඉඳල ගෙදර යනවා. හිත එක අරමුණක තියාගන්න එක ඒ තරං ලේසි නෑ. අර කියන්නෙ දුවන අශ්වයෙක් පිටේ පුහුණු ගෙඩියක් රඳවල තියනව වගේ කියල. ඒක ඇත්ත. සේරට ම වැඩිය අර මනුස්සය ආපු එක. ඒත් ඉතිං මොනව කරන්නද කොහොම හරි මේ පැත්තට හිත යොදවන්න එපා ය. එක අතකට අපි මෛත්‍රී භාවනාව කියල එක තැනක වාඩිවෙලා ඒ භාවනාවෙ තියෙන පාඨ එකින් එක කියන එකනේ කරන්නෙ. ඒක අපේ හිතට ධාරණය වෙනවද? හරි නං අපි කරන්න ඕන අපි ඒ ධර්‍මය ජීවිතය බද්ධ කරගන්න එකයි. ඒ ධර්‍මය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න ඕන. එහෙම නොවුණ නිසානේ සමරජීව දැක්ක හැටියෙ මගේ හිතේ ද්වේෂයක් ඇතිවුණේ! ඇයි මට එයාටත් මෛත්‍රී කරන්න බැරි. කල්පනා කරල බැලුව ම අපේ විවාහ ජීවිතේ කඩාකප්පල් වුණ එකට මමත් වග කියන්න ඕන. අපි එකිනෙකා තේරුම් ගන්න උත්සාහ නොකරපු එකේ වරද තමයි මූලික හේතුව. මීට පස්සෙ මම ඒ මනුස්සයට වෛර කරන්නෙ නැහැ. මගේ ජීවිතේ වෙනස් කරගන්න ඕන.
භාවනා වැඩසටහන නිම කළ සුමේධා ගුරුතුමිය සිය ගමන් මල්ලත් ගෙන නිවස බලා යාමට බස් නැවතුම වෙත පිය නැඟුවා. හිස මත තිබූ මහබරක් බිම තැබුවාක් වැනි සැහැල්ලුවක් ඇගේ සිතට දැනෙන්න වුණා. ඇය කෙමෙන් කෙමෙන් බස් නැවතුම් පොළට ළඟා වුණා. එවිට ඇගේ දෙනෙතට හසුවුණේ සමරජීවත් බස් නැවතුමේ රැඳී සිටින දසුනයි. ඇය මඳක් ගමන බාලකර දුර සිට ඔහු දෙස බලා සිට සෙමෙන් ඔහු අසලට කිට්ටු කළේ ගැහෙන හදින් යුතුවයි. ඇය මඳ වෙලාවක් නිහඬව සිට කටහඬ අවදි කළා.
“සමරෙ මොකද මෙහේ?”
ඔහු සුමේධා දෙස බලා ඉවත බලාගත්තා.
“උදේට කාලද?”
“නෑ මම ගෙදර ගිහින් කනවා”
“මෙන්න මේක අරගෙන ගිහින් කඩේකින් මොනව හරි කන්න” සුමේධා සිය අත්බෑගය විවෘත කර රුපියල් දාහේ නෝට්ටුවක් අරගෙන ඔහු වෙත දිගුකළා.
සමරජීව මොහොතක් නිහඬව ඉවත බලා සිට එක්වරම මුදල් නෝට්ටුව රැගෙන ඉවත්ව යද්දී ඔය කොණ්ඩෙයි රැවුලයි කපාගන්න යැයි සුමේධා කී වදන් ඔහුට ඇසුණාද නැත්නම් මුහුද දෙසින් හමා ආ සුළඟට මුසුවී ගියාද යන්න නිනවුවක් නැතිව හුන් ඇගේ මුවින් සුසුමක් පිටවී වාතලයට මුසු වුණා.
ඉන්දියානු ලේඛක ශිව් කේ. කුමාර්
පරිවර්තනය - ගුණතිලක මැටියගනේ
පොහොට්‌ටු සහිත තද රක්‌ත වර්ණ රෝස මලින් වම් පැත්ත කැටයම් කරන ලද්දා වූ ද, ගන සැරේට සුවඳ කැවුවා වූද, තද නිල් පැහැ ලියුම් කොපුව කපා දමන්නට ප්ලාස්‌ටික් කඩදාසි පිහිය අතට ගන්නා විට ඇගේ සුදු මුදු නළලත කුතුහලය පිරී රැළි දෙකක් නැගී ආයේය. ඉක්‌බිති හදවත විවර කෙරෙන වැකි දිගේ හනික දෙනෙත ඇදී යන විට ඇගේ මුහුණ රත් පැහැ ගැන්වෙන්නට වූයේ හදිසියේ මතු වූ දුෂ්කරාවස්‌ථාව සමඟිනි.
"ජෙස්‌මිනා කන්‍යා සහෝදරතුමිය,
ප්‍රධානාචාර්ය
ජේසුස් ප්‍රාථමික පාඨශාලාව
ගෝන්ඩාපල්ලි
"විශේෂයෙන් නිර්නාමිකව, ඔබ විසින් නොදිටි මා ඔබ වෙත මගේ හදවත විවර කළ යුතු දැයි මම නොදනිමි. මෙය මා ඔබේ දැසට අතිශයින් ම පවුකාරයකු කරයි. ඒ කෙසේද යත්, මඟියකු රියට යටකර හනික පලා යන රියකරුවකු ලෙසනි. එහෙත් නිසැකවම, මානුෂික වධ වේදනා පිළිබඳව කිස්‌තුන් තුළින් ඔබ ලද දිව්‍යමය අවබෝධයට මගේ වේදනාව ගැන අවධාරණය කරන්නට හැකියාවක් ලැබෙනු ඇත.
කන්‍යා සොයුරියනි, මම ඔබ කෙරේ ආදරයෙන් වහ වැටී සිටින්නෙමි. මෙවදන් තුළින් ඔබ තිගැස්‌සෙන්නේ පූජනීය වස්‌තුවකට නිග්‍රහ කළ විටෙක මෙනි. එය ව්‍යභිචාරයකට (ඉතා කිට්‌ටු නෑදැයකු සමඟÊකාම මිථ්‍යාචාරයේ යෙදීම) කරන ඇරයුමක් මෙන් නොවේද? නමුත් මට එය නොකර බැරිය. සමහර විට ඒ මා තුළ ආවේශ වී සිටින යක්‍ෂයා වෙන්ට ඇත. මට දැනෙන්නේ මා දැනටමත් අපා ගිනිදැල්ලේ පැලහෙන්නාක් මෙනි. මම දරුණු ලෙස නිරයේ පැලහෙමි, මගේ පාපයෙහි පත්ලක් නැත. මගේ වේදනාව කෙසේවත් දරා උසුලා සිටිනු නොහැකිය. නමුත් මට අනුකම්පා කොට මා වටහා ගන්නට සමතෙක් මේ මිහිපිට නැත.
එය සිදුවූයේ ඔබේ වාර්ෂිකෝත්සවයට පෙර එක දිනයක ය. අවසන් පෙරහුරුව සඳහා මා මාගේ දියණිය කැඳවා ගෙන ආ විටදී ය. ඔවුන් ගයන විට ඔබ ඇගේ තුන්වන ශ්‍රේණිය පුහුණු කරමින් සිටියෙහි ය. ඔබ කිරි සුදු පැහැති සේද ලෝගුවෙන් සැරසී පියානෝව ළඟ වාඩිගෙන සිටියෙහි ය. ඔබේ සිකිගෙල එහි යතුරු පුවරුවට ඉහළින් මඳක් නැඹුරු වී තිබුණේ හංස ෙ නුවකගේ මෙනි. ඔබ වේල්පටට යටින් නීල වර්ණ අඩ සඳ තීරුවක් පායා තිබුණේය. එතකොට ඒ සුඛනම්‍ය දෙතොල්වලින් පිටුවුණු වදන්· ඒවා ප්‍රෑන්කි ඩික්‌සීගේ ස්‌වර මාධූයයක් මෙන් දිව්‍යමය විය. ඊට අමතරව මේ ජවනිකාවේ රසිකයා වූයේ අනෙකුත් දෙමාපියන්ට පේළි සතරක් ඈතින් නිර්නාමිකවය. මගේ මනසින් මම ඔබට පහත සඳහන් තෑගි පිරිනැමීමි. ඔබේ නළලට නිල් මැණිකක් එබ්බ වූ නළල් තැල්ලක්, දැතේ මැණික් කටුවලට දියමන්ති වළලු හා නිසංසල ගිම්හානයේ පුරහඳ මෙන් විශාල රත්රන් කර්ණාභරණ, ඔබතුමිය යෞවනයේද, සුන්දරත්වයේද, පවිත්‍රත්වයේ ද ආලේඛ්‍ය චිත්‍රයයි. සටකපට කටු අත්තක් හා විවාහ වී සිටින මට, ඔබතුමිය වැනි කෙනෙක් මුළු ජීවිත කාලයටම අවශ්‍යය. ඉතින් ඔබතුමිය මගේ උත්පත්ති කේන්ද්‍රයෙහි නගුල් තරාකාව මෙන්නැඟී සිටීම අරුමයක් ද?
එතැන් පටන් සෑම දිනකම උදයේ මම ඔබ බැහැ දකින්නට පැමිණියෙමි. ඔබ උදැසන පාසල් රැස්‌වීම අමතන විටත්, ප්‍රමාද වී පැමිණෙන්නන්ගේ සිත් නොතැලෙන සේ තරවටු කරන විටත් මම අනෙකුත් දෙමාපියන් අතරේ පරෙස්‌සමෙන් සැඟවී සිටියෙමි. මගේ දියණිය ද දැන් වේලාසනින් පැමිණෙන්නට වග බලා ගනී. ඔබ වෙනුවෙන් තවත් ටික වේලාවක් ගත කරන්නට දැන් මට එය රුකුලකි. සෑම උදයකම ඔබගේ එකම දසුනක් මගේ කාර්යාලයේ අප්‍රසන්න තදියම අතරින් මා පුළුන් පොදක් කොට ගෙන යන්නට සමත් වෙයි. "
ලිපිය ජස්‌මිනා කන්‍යා සොහොයුරිය අන්දුන් කුන්දුන් කරවන්නට සමත් වෙයි. ඇගේ පළමු ප්‍රතිචාරය වූයේ ලැ-ජාවයි. ඊළඟට ඇයට දැනුණේ තමාට දැනටත් ආගන්තුක ආවේගයක් වූ කෝපයයි. ඇයට දැනුණේ යමකු විසින් තමා අපවිත්‍ර කළේය යන හැඟීමයි. මේ යක්‍ෂාවේශ මිනිසා ඔහුගේ ගොදුර ලෙස තමා තෝරා ගත්තේ ඇයි? සමෘද්ධිමත් ගල් අඟුරු වෙළෙන්දෙකුගේ දියණියක විත් ඇය මේ භෞතික ලෝකයේ සියලු උපභෝග පරිභෝග වස්‌තූන් අතහැර දමා දැනට වසර තුනකි. විසිඑක් වැනි වියෙහිදී ඇය ක්‍රිස්‌තුන් හා මනුෂ්‍යත්වයට කැප වූවාය. දැන් ඇය විසින් අමතක කොට දැමූ ලෝකයම කෙසේ හෝ ඇය අල්ලා ගැනීමට මාන බලන්නීය. ඇගේ නීල වර්ණ දිගු ඇස් පිහාටුවලට යටින් යම් තෙතමනයක් දිස්‌න දෙන්නට විය. තම කාර්යාලයේ හුදකලා වු ඇය එහිම දණින් වැටුණේ තමාට සැඟ වී පහර දීමට උත්සාහ දරන ප්‍රයෝගකාර සතුරකුගෙන් එල්ල වන අභියෝගයට මුහුණ දෙනු වස් දිව්‍යමය අත්උදව්වක් ඉල්ලමිනි.
පසුදා උදැසන රැස්‌වීම ඇමතූ ඒ කටහඬ බියෙන් හා වෙව්ලුම් සහගත ද වූවකි. එමෙන්ම කවදාවත් නැති තරමට එය කෙටි අනුශාසනයකි. "දරුවනේ රාත්‍රි නින්දට වැටෙන්නට පෙර යාච්Cඳා කිරීම කිසි විටෙකත් අමතක කරන්නට එපා. යාච්ඥා ඉතා බලගතුයි. සියලු නපුරට එරෙහි වන්නට ඇති එකම ආයුධය......."
ඊළඟට ඇය පාසල් දොරටුව වෙත පිය මනින්නට වූයේ ප්‍රමාද වී පැමිණෙන්නන්හට තරවටු කිරීමේ මතුපිට අරමුණිනි. එහෙත් ඇය ඉතා මෘදු වචනයක් දෙකකින් ඔවුන් අමතා විසිර යන්නට සැලැස්‌වූවාය. ඇය පදික වේදිකාවේ සිටගෙන රහසින් අවට සිසාරා බැලුවේ තම අබිරහස් සතුරා පිළිබඳව යම් හෝඩුවාවක් සොයා ගැනීමේ රිසියෙනි. එහෙත් ඔහු හඳුනාගැනීමේ කිසිදු මඟක් නොවීය. දෙමාපියන් පොකුරක්‌ම තවමත් බස් නැවතුමේ තැග්ගැහෙති. ඒ අතර අතොරක් නැතිව වාහන ඇදී යයි. ට්‍රක් රථ, කිරි අදින වාහන, ස්‌කූටර ආදිය, දොරටුව දෙපසින් ම වූ පදික වෙළෙන්දන්ට කුතුහලයක් වූයේ පාසල පටන් අරගෙන බොහෝ වේලාවක් ගත වූවත් තවමත් ඇය මෙහි ගැවසීමයි. බැදපු රටකජු විකුණන අළු පැහැ ගැහුණු මැහැල්ල තම දත් නැති කට විදහා ඇය හා සිනාසුණාය. විවිධාකාර වර්ගවල චුවිංගම් ද, චොකලට් පෙතිද , දෙහි යුෂ ද වෙළෙඳාම් කරන තරුණ සූකිරිකාරයා ඇයට ගරු සරු දැක්‌වීය.
පසුදා උදැසන තැපෑලෙන් ද අර සුගන්ධයම කැටිකර ගත් තද නීල වර්ණ කොපුවෙන් යුත් ලිපියක් ලැබුණේය. මෙවර නම් එය පාසල් සටහන් පොතකින් ඉරාගත් රූල් සහිත කඩදාසියක ලියූ කෙටි ලියවිල්ලකි. ඔහුගේ දියණිsයගේ? ලියුම් කොපුව විවර කරන ඇයගේ අත් වෙව්ලන්නට විය.
"එසේය, මම ද පසුගිය රාත්‍රියේ යාච්ඥා කළෙමි. සමහර විට ඔබ වෙනුවෙන් වූ මගේ පාපකාරි රාත්‍රියට එරෙහිව පළමු වරට. එහෙත් එය නිෂ්ඵල ආයාසයක් විය. ඊළඟට මා උත්සාහ කළේ ඔබේ සමාව වෙනුවෙන් යාච්ඥා කරන්නටය.මා ඔබට රිදවා ඇති බව මා දන්නා නිසා, අද උදැසන ඔබේ මුහුණෙහි වූ බියසුළු බැල්ම, දඩයම් කරනු ලැබු මුව පොව්වකුගේ මෙන් මා හඳුනාගන්නට උත්සාහ දරමින් ඔබ අවට සිසාරා බැලූ හැටි, එයින් ඔබේ සුන්දරත්වය වඩා වැඩිදියුණු වූවා. එයින් ඔබේ දෙනෙත් ගිනි පුපුරු විහිදෙව්වා. මම කොණේම දුම්කොළකාරයාට වහන් වුණා. සත්තකින් ම ඊළඟ වතාවේ මම වෙනත් කොතැනක හෝ, එහෙත් නොකැළඹෙනු මැනවි මගේ පියාවිය. මා අදහස් කරන්නේ ඔබට හානියක් කරන්නට නොවේ. මා ඔබට ආදරය කරනවා පමණි. මම නැවත වතාවක් යාච්Cඥා කරන්නට උත්සාහ කොට ඔබ වෙත සාමය පතන්නෙමි. එය ඉටුවනු ඇත. සමහර විට ඔබ ද මා වෙනුවෙන් යාච්ඥා කළ යුතු වන්නේ අප එකිනෙකා සන්නිවේදනය කරවනු පිණිසය. ක්‍රිස්‌තුන්ගේ මාර්ගයෙන්.
ඔබට දෙවි පිහිටයි
තවම ලැබී ඇත්තේ ලිපි දෙකක් පමණක් වුවත් දැනටමත් ඇයට දැනෙන්නේ තම ජීවිතය දෙපළු වී ඇති බවයි. පාසල අවසන් වූ කල්හි ඇය තම ඔµSසියේ වාඩිගෙන ඈතින් නිරන්තරව ගලා යන වාහන ශබ්ද අතරේ ගුලි වූ නිහඬතාව තුළ සැතපුණාය. පිටත පාසල් භූමියේ, උයන්පල්ලා විසින් මල් පාත්ති සහ ඝන තණ තීරුවලට වතුර දැමීම අරඹා තිබිණි. ඇයට වතුර බටයේ පිඹීම ඇසිය හැකි විය.
ඇය ජනේලයෙන් පිටත බැලීමට නැඟී සිටි කල්හි ඇගේ ඇස් රැඳුණේ වීදුරු තහඩුවෙන් පිළිබිඹු වූ ස්‌වකීය ඡායාව වෙත ය. වේල්පටට යටින් ඉබාගාතේ දිවයන කාල වර්ණ අඩසඳක හැඩ ඇති මුහුණ, හංස ෙ නුවකගේ මෙන් වූ සිකිගෙල, පිරුණු ලැම මඬල මෙන්ම මීන නුවන් හි ගැබ්ව අන්දමන්දය.
"ජරාවට පත්වන මේ මායාකාරී පංචස්‌කන්ධය, මා පරීක්‍ෂාවට ලක් වී සිටින බව මම දනිමි."
එදින රාත්‍රියේ තමා තම යාච්ඥාවෙන් විසන්ධි වී ඇති බවක් ඇයට හැඟිණි. පූජනීය වස්‌තුවකට අවමන් කරන යක්‍ෂයකු සමඟ දුරකතන සංවාදයකට කොටු වූ වගක් ඇයට දැනුණි. ඈ තීරණය කළේ පාපොච්චාරණයක් වෙත ගොස් දෙවියන්ගේ කැමැත්ත ඉදිරියේ තම කැළඹීම සමනය කර ගන්නා මඟක් සොයන්නටය.
ඊළඟ ඉරු දින උදැසනම දාහත්වැනි සියවසෙහිදී මදුරාසියෙන් (දැන් චෙන්නායි) සැතපුම් අසූවක් ඈතින් පිහිටි මේ ගම්බද කඩමණ්‌ඩියේ, යුරෝපීය මුල් පදිංචිකරුවන් විසින් ගොඩනඟන ලද පෘතුගීසි දේවස්‌ථානය වෙත ඇය ගමන් කරනු පෙනිණි. එම දේවස්‌ථානය වූ කලි කාලවර්ණ කළුගලින් නිම වූ යෝධ ගොතික් නිර්මාණයකි. එහි දැවැන්ත වීදුරු අධික වියදම් සහිතව පින්තාරු කර ඇත්තේ මැඩෝනාගේ විවිධාකාර යාච්ඥා ඉරියව්වලිනි. එහි තුඟු කොත් වහන්සේලා නිශ්චිතවම ස්‌වර්ගයට යන පාර කියයි.
අළු පැහැති කුළුණක් ළඟින් ක්‍ෂණිකව හැරුණු ඇය පාපොච්චාරණ ආසනය තුළට නොපෙනී ගියාය. තිරපට සමීපයටම ඇදී යමින් ඇය අතිශය පෞද්ගලිකත්වයක් කරා ඇදී ගියාය. ඉනික්‌බිති ඇය තම හද ගැබ දොරගුළු විවර කරන්නට වූවාය.
"ඇයි ඔබ ඔතරම් සිත් අමාරු කර ගන්නේ. මගේ දරුවා මේ උන්මත්තකයකුගේ ලියුම්වලට" තිරය පිටුපසින් ගොරෝසු කටහඬක් ඇසිණ.
"පියාණනි, මට බියක් දැනෙනවා. මට දැනෙන්නේ මා ඇස්‌වහකට ගොදුරුවෙලා වගෙයි."
"ඒ ඇයි. මේ කඩදාසි කැබලි විසිකර දමා ක්‍රිස්‌තුන් වෙත ඔබේ රාජකාරිය දිගටම කරගෙන යන්න."
" නමුත් මට එය අමතක කරන්න අමාරුයි."
"මොනවද?"
"මිනිහා කියපු දේවල්."
"මොන දේවල්ද?" මේ වතාවේ පාපොච්චාරණය පිළිගන්නාගේ කටහඬ මඳක් රාක්‍ෂ බවට පත්ව තිබිණි.
"මගේ සිරුර ගැන ඔහු කළ ඇගයීම් හා........"සිස්‌ටර් ජෙස්‌මිනාගේ කටහඬ කෙඳිරුමක් බවට සෙමෙන් පරිවර්තනය වී ගොස් අවසන ඉකිබිඳුමක් බවට පත් විය.
"අඬන්න එපා මගේ දරුවා, කතා කරන්න.........." පාදිලි තැන තරමක් අන්දුන්කුන්දුන් වී ගිය බවක් පෙන්නුම් කෙරිණ. දැන් ඔහු තම දෙසවන තිරයටම සමීප කරගෙන සිටී. වේදනාත්මක සුසුම් හඬ වා තලය සිසාරන්නට විය.
"දවසක් මම මගේ කාර්යාලයේ ජනෙල් වීදුරු තහඩුව තුළින් මගේ පිළිබිඹුව දුටුවා. ඉතින් මගේ ඇස් පාපකාරී විදියට මගේ සිරුරේ හැම කොටසක් කරාම දිව යනු මට දැනුණා."
ඊළඟට වූයේ කෙටි නිහඬතාවකි. ඉක්‌බිති ඇය මිමිණුවාය. "පියාණනි, එකම යථාර්ථය අධ්‍යාත්මය වූ විටෙක කෙනෙක් භෞතිකමය ශරීරයට රතියක් දැක්‌වීම පාපයක් නොවන්නේ ද?"
පාදිලි තැන පිළිතුරු දුන්නේ ගොළු නිහඬතාවකිනි. එය වූ කලී පසුව වික්‌කලයක් බවට පත් වූ ව්‍යාකූල හඬකි.
"මේ කරුණු කාරනා ගැන අපි වෙනත් වේලාවක කතා කරමු. මේ ඊට සුදුසු මොහොත නොවේ. ඔබ අතිශයින් කැළඹීමට පත් වෙලා. මේ අතර මම ඔබ වෙනුවෙන් යදින්නම් මගේ දරුවා..."
පාපොච්චාරණය උදව්වක් වූ බවක් නොපෙනිණ. මේ අවුල් ජාලයෙන් නික්‌මීමට ඇයට ඇති එකම විකල්පය නම් වෙනත් ස්‌ථානයක් කරා මාරුවක් ලබා ගැනීමය. සෞඛ්‍ය හේතූන් මත වෙනත් ස්‌ථානයකට මාරුවීමක් ලබා දෙන්නැයි ඇය ප්‍රධාන මව්තුමියගෙන් අවසරයක් ඉල්ලා සිටිය කල ඒ ඉල්ලීමට ඉඩ ලැබිණි. අග්‍රාවලට නුදුරින් සමිනාබාද්හි කන්‍යා මේරි ප්‍රාථමික පාඨශාලාවේ ප්‍රධානාචාර්යවරිය ලෙස වැඩ භාරගන්නා ලෙස ඇයට උපදෙස් ලැබිණි.
දරුවන් දෙමාපියන් හා ගුරුවරුන් විසින් ඇය වෙත දැඩි හෘදයාංගම සමුගැනීමක් ප්‍රදානය කරන ලදී. උළෙල ආරම්භ වූයේ මල් කළඹ පිළිගැන්වීමෙනි. සමන් පිච්ච, ඕලු, රෝසමල් විවිධාකාර හැඩතලවලට අනුව ගොතා තිබිණි. වඩාත්ම සිත් ගන්නා ලෙසින් හදවතෙහි අනුරුවක් ලෙසට සකස් කළ තද රතු රෝස මල් කළඹ හැම කෙනෙකුගේම සිත් අලවන්නක් විය. එය පිළිගන්වන ලද්දේ කුඩා දැරියක විසිනි. වේදිකාව වෙත පා නඟද්දී ඇය පය පැටලී ඇද නොවැටුණා තරම්.
ඊළඟට වේදිකාවට නැංවූයේ වර්ණ විභූෂිත විනෝද අංග ගණනාවකි. කිතු උපත කියෑවෙන කෙටි නළුවක්, පමා වී පැමිණෙන්නන් ගැන උපහාස රචනයක්, විවිධ ඇඳුම් තරගයක්, ඉඟි නළුවක් හා අවසානයට සමූහ ගායනයක් වශයෙනි. පියානෝ වාදනය කරන්නැයි යමෙකු විසින් ජැස්‌මිනා කන්‍යා සහෝදරියගෙන් ඉල්ලීමක් කළ කල්හි ලැජ්ජාවෙන් රතුව ගිය ඇය එය ප්‍රතික්‍ෂේප කළාය. "එයාට එච්චර හොඳ තත්ත්වයක් නැහැ" ඇය පිළිතුරු දුන්නාය.
අවසානයට සමුගැනීමේ කතා. ළමුන් දෙදෙනෙකු කලින් සකස් කරගත් කතා කියෑවූයේ ඇගේ හදවතේ සහ බුද්ධියේ ගුණ යහපත්කම් පිළිබඳව වර්ණනා කරමිනි. මාපිය දෙපළක් ද ඊට අත් උදව් දුන්නෝය.
සිස්‌ටර් ජැස්‌මිනා කෙසේ වෙතත් දැනටමත් වෙනත් ලොවක ගිලී සිටින්නාක් වැන්න. ඇගේ ඇස් විරාමයකින් තොරව ශාලාවේ එක් කොනක සිට අනෙක් කොන දක්‌වා ඔහු සොයමින් චලනය විය. ප්‍රතිචාර දක්‌වන්නට නැඟී සිටි කල්හි ඇගෙන් පළවුණු ආතතිය කොතෙක් ද යත් ඈ දැන් දැන් ඇද වැටේ යෑයි පෙනෙන්නාක් මෙන් විය. ඇගේ මුහුණේ මස්‌පිඬු පෙරළෙන්නට වූයෙන් ඇය දැතින්ම කථික මේසයට ඇලී ගත්තාය වේල්පටට යටින් විසිරී ගිය කෙස් රොදක් පිටුපසට කරන්නට උත්සාහයක් ගත් ඇය දීර්ඝ හුස්‌මක් ඇද වචන පිට කරන්නට උත්සාහ ගත්තාය.
"ඔබ සියලු දෙනාම ඔබේ දයාව මා වෙත පෑමට තරම් පරිත්‍යාගශීලී වූවෝ ය. දරුවන්, ගුරුවරුන් හා දෙමාපියන් මා කොහේ ගියත් යන තැනක ඔබේ ආශීර්වාදය ද රැගෙන යමි. කෙසේ වෙතත් යම් තැනකට හෝ යමකට බැඳීමක් ඇති වීමට එරෙහිව කෙනෙක් ආරක්‍ෂා විය යුතුයි. අපට මඟ පෙන්වන්නේ ආධ්‍යාත්මික ශක්‌තිය පමණයි. එසේ නොමැතිව අපේ මරණීය ආත්මය නොවේ. ඉතින්. මෙසේ සතුටින් තවත් ස්‌ථානයකට මගේ වෙනස්‌වීම මම ඉත සිතින් පිළිගනිමි. සියලු දෙනාටම දෙවි පිහිටයි.
ඉක්‌බිති ඇය තම අසුන තුළ කිඳා බැස ගත්තාය. අවසන් වරටත් ඇගේ පුසුඹ විඳින, සුසුම්ලන, ඉකිබිඳින නල රැලි නරඹන්නන් අතර කැලතී ගියේය. කලබලයට පත් කුඩා දැරියන් කණ්‌ඩායමක් එක හඬින් කෑ ගසන්නට වූවෝය. ඊට සමගාමීව දහස් ගණනක අත්පොළසන් හඬ අහස සිසාරන්නට විය.
ඇය සමිනාබාද්හි ස්‌ථානගත වී සතියකට පසු තවත් ලියුමක් පැමිණියේය. එහි කොපුවෙහි ද රතු රෝස මල එබී තිබිණි. "අහෝ· ප්‍රේමවන්ත ෙ-සුනි" ඇය කෑ ගැසුවාය.
මේ වතාවේ එය අතිශයින් දීර්ඝ එකක් විය. එය සරසර ගාන සුදු කඩදාසියේ මනාව ගලපා තිබුණේ ඒ පිළිබඳව දැඩි මහන්සියක් දැරූ කලෙක මෙනි.
"ඔබේ ලිපි යොමුව සොයා ගැනීම කොහෙත්ම ප්‍රශ්නයක් නොවීය. මේ ලිපිකාරයින්ගෙනුත් ගුරුවරියන්ගෙනුත් ඇති පලේ කුමක් ද? නමුත් සෞඛ්‍ය හේතූන් මත මාරුවක් ලබා ගැනීම නම් ළංවන්නේ අසත්‍යයට නොවේද? එය නම් රාජකීය කෙප්පයක් බව සැබෑය. ඇරත් මෘදු වැල්වටාරම් ද ඔබේ සමුගැනීමේ කතාවට කාන්දු වී තිබිණ. ඔබ මවෙතින් දුරස් කළේ ජීසස් මරියා අධ්‍යාපනික නිකාය නොවේ. එය ඔබේම තෝරා ගැනීමකි. ඒ සියල්ලට මූලික නිමිත්ත වූයේ මා නොවේද? එසේ නොවිණි නම් ඔබ නරඹන්නන් අතරේ එතරම් දැඩි සුපරීක්‍ෂාවකින් මා සොයා වෙහෙසෙනු නොමැත.
අපි එකිනෙකා මඟහරිමින් සැඟවෙමින් හැංගිමුත්තන් ක්‍රීඩාවක නියෑලෙන්නෙමෝ දැයි මට හැඟේ. එහෙත් මේ පටලැවිල්ල තුළින් පුදුමාකාර යමක් එළිදරව් වූ බවක් පෙනේ. මා කොහෙත්ම සූදානම්ව නොසිටි යම් පරිවර්තනයක මුවවිටට මා පැමිණ සිටියි. දැන් ඔබ විසින් තෝරාගෙන ඇත්තේ පරදේසක්‌කාර භූමියක සැඟව සිටීමයි. (නැතහොත් ඔබ පසුබසිමින් සිටින්නේද?) මා සමඟම සමාදානයට එළඹෙන්නට මට බල කෙරෙමින් තිබේ. කවදාවත් නැති තරම් මා ඔබට ආදරය කරන බව දැන් මම පසක් කොට ගෙන සිටිමි. එමතුද නොව මම සැබෑ අදහන්නෙකුගේ භූමිකාවට අනුගත වෙමින් සිටිමි. මට මෙය විශ්වාස නොකළ හැක්‌කේය. මන්ද මා ඔතොඩොක්‌ස් හින්දු පවුලක උපත ලැබුවද මගේ විද්‍යාත්මක අධ්‍යාපනය හේතු කොට ගෙන අන්ධ විශ්වාසයන්ට මා තුළ තැනක් නොමැති බැවිනි. නමුත් දැන් පළමුවරට මට අවබෝධ වී ඇත්තේ කිසිදාක නොදුටු දෙවියන් කෙරෙහි මිනිසුන් විශ්වාසය තබා ඇත්තේ කුමන හේතුවක් නිසාදැයි යනුවෙනි. දන්නා දේට සහ සමීපයෙහි ඇති දේට ඉහළින් ගුප්ත මායිමක් අදෘශ්‍යමානව ඇති බ ව පෙනේ. මා වෙත විශ්වාසය ගෙන එන මාධ්‍යය ලෙස දෙවියන් විසින්, මේ තරම් තරුණ, මේ තරම් රූමත්, මේ තරම් පවිත්‍ර ඔබ තෝරා ගෙන ඇතුවාක් මෙනි.
ඊයේ සවස් යාමයේ මගේ ඇඳුම් අල්මාරියේ තිබී ඈ අගයන හාදයකුගෙන් ලැබුණු ලිපියක් මට අහම්බෙන් හමුවිය. ඒ මදිවාට ඒ සන්ධ්‍යාවේම අමුතු විදියේ දුරකථන ඇමතුමක් පවා ලැබිණ. මා රිසීවරය ගත් විටම ඔහු පසුබාන්නට විය. නමුත් මා ඇයට ඒ ගැන සාප නොකරමි. ඈ මනාප මඟක යන්නට ඇයට ඉඩ හරිමි. තම රහසිගත සම්බන්ධයෙන් හෝ ඇය තම කලහකාරී බව මඳක් හෝ අඩු කර ගන්නේ නම්.
දැන් ඔබට පුංචි ප්‍රවෘත්තියක් - මතකනේ පාසලින් පිට පැත්තේ සිට බැදපු රටකජු විකුණපු මහලු ආච්චි. උන්දැ අද හවස ආන්තරා වුණා. ගේට්‌ටුව ඉදිරිපස ඇද වැටිලා. හදිසි පපුවේ අමාරුවක්. මං මේ අද උදෙත් ඈත් එක්‌ක ඔබ ගැන අනියමින් කතා කළා. උන්දැ ඔබ ගැන කතා කළේ හරිම ලැදියාවකින්.
ඔබ දන්නවානේ සිස්‌ටර් ජුලියානා. ඔබට පසු ආ තැනැත්තිය. ඈ සියලුම වෙළෙන්දන් මාර්ග සංඥා කණුවෙනුත් එහාට එළවන්න සැලසුම් හැදුවා. ඈ නම් හරිම මකරියක්. සැර පරුෂ හඬින් හැමෝම බියවද්දනවා. හරියට මගේ මායියා වගේමයි. පමා වී පැමිණෙන අය භීතියට පත් කරවනවා.
මේ මගේ අවසාන ලිපිය විය හැකියි. මේ සීමාවෙන් එහා, මම නිහඬතාවටත් දුරස්‌ථභාවයටත් ඉඩ දී බලා සිටින්නේ මා වඩා ශක්‌තිමත් අදහන්නෙකු බවට පත් කරන ලෙසය.
ඔබට දෙවි පිහිටයි.
මෙයට ඔබේම
කෙටි කතාව
අර්නස්‌ට් හෙමිංවේගේ 'Old man at the Bridge'
කෙටි කතාවේ පරිවර්තනයකි.
--
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/indraka/CAFRcW-K%2Bd5JPaZd7Nequ-9DgrVEhwKSpbQsqnF1xd8mvAKkPMQ%40mail.gmail.com.
මැදියම් රැයේ පණ බේරාගත් ගොඩ්විනුත්, දෙනියේ ගෙදර සෝමයාත් හති දමමින් පස්‌ස නොබලාම දුවන්නට වූහ. කඩු පොලු උළුක් කරගත් පිරිසක් ඔවුන් දෙදෙනා පසුපස එලවා බලාපොරොත්තු සුන්කර ගනිමින් ආපසු ගියහ. හොරකමෙත් කපටි කමේත් ක්‍රම සහ විධි වසර ගණනක් ප්‍රගුණකළ නිසාම දෙදෙනා සුරුස්‌ගාමින් තම නිවෙස්‌වලට රිංගා ගත්තේ ගැහෙන හදවතින් යුක්‌තවය.
"ඊයෙ තව ඩිගෙන් මැරුං කංටයි වෙන්නේ... කඩේ ලාච්චුව ඇරල සල්ලි අතට ගත්ත විතරයි එකෙකුට ඇහැරුනානෙ බං... වැඩිකල් යන්ට ඉස්‌සරල අපි දෙන්න කාගෙන් හරි කම්බස් වෙනවා... මේක අතෑරල දාමු බැං, දැං අවුරුදු කීයක් ගුටි කෑවද? ඊයේ පොලු පාර අතේ වැදිල තවමත් ඉදිමිලා... ගුටි කාලම දැං ඇඟපත රිදෙනවා... මතකනෙ එක පාරක් කඩුපාරට අත වෙන්උනේ නැති එක විතරයි..." දෙනියා කියාගෙන කියාගෙන ගියේය. දෙනියේ ගෙදර සෝමපාල වුවද ඔහු ප්‍රසිද්ධ දෙනියා හැටියටය.
"ඔව් බං අපිට ඉගෙන ගන්ටත් බැරිඋනා... අතේ පයේ වැඩක් දන්නෙත් නෑ. ඒකනේ බං මේ කුණු රස්‌සාවටම පුරුදු උනේ. ඒත් මොනවා කරන්ටද... අපිත් මේ ලෝකෙ ජීවත් වන්ට එපැයි..." ගොඩ්ඩාද ඒ අදහස තහවුරු කළේය.
සොරකමට තිත තබා කොහෝ හෝ ඈත ගමකට ගොස් ජීවත්වීමට දෙදෙනා තීරණය කළේ බැරිම තැනය.
"අපි දෙන්නා එකට ගියොත් ආයෙත් පරණ වැඩේමයි කරන්ට හිතෙන්නෙ. උඹ ඕනෑ දිහාවක පලයං.... මම හෙට අනිද්දාම පොලොන්නරු පැත්තෙවත් යනවා කුලියට ගොයං කපන්නට..."
කිසිදු නිශ්චිත ඉලක්‌කයක් නොමැතිව බස් රථයෙන් බැස්‌ස පොඩ්ඩාට යකෙක් කන්ට බඩ ගින්නක් දැනුණත් අත ඉතිරි සීමිත මුදල මතක් කර දිග සුසුමක් පිට කළේය. කඩවල් කීපයකටම ගොස් වැඩ ඉල්ලා ඇවිටිලි කළද කිසිවකුත් උපකාර කරන බවක් නොපෙනුනි. ඔහු බඩගින්නේම මැදිරිගිරියේ කුසුම් පොකුණ ඇල පාරේ පියමං කළේය. ගිනි පූටකේ දහදිය දෙකාංසෙන් රූරා වැටුනද ඒවා මොහොතකට හෝ සමනය වූයේ හාත්පස වෙල්යායෙන් ඉද හිට එන සුලං රැල්ලකිනි. ගමන් මහන්සිය නිසා ඔහු බඩගින්නේ ම යාබදව ඇති මහ නුගගහ මුල හරිබරි ගැසී ඉඳගත්තේය. ඈත වෙල්ලායේ ගොයම් කපන පිරිසකගේ ගොයම් කවියක් දෙකක් ඉඳහිට ඇසුනෙත් ඒ දෙස බලා ඈනුමක් ඇරියේය. දහවල් ඇඹුලෙන් සප්පායම් වූ කුසුම් පොකුණ සේනයා ඈත නුගගහ මුල සිටින තැනැත්තෙකු යාංතමින් දැක්‌කේය.
"පව් අර කව්දෝ මිනිහෙක් නුග ගහයට ඉන්නවා ඉතුරු වෙච්ච බත් ටික දීල දාමු".
ගොඩ්ඩා තමා වෙත එන කවුදෝ පුද්ගලයකු දැකීමෙන් ඈතදීම බොරු ආරුඪයක් ගත්තේය.
"මේ උන්නැහේ බත් ටිකක් තියනවා දෙන්ඩද?"
"දරුව.... පළමුව ආහාර පැත්තක තබා... කොල අත්තකත් ගහේ එල්ලලා... නමස්‌කාර කරන්ට හොඳයි".... මෙතන ශුද්ධ භූමියක්..." ගොඩ්ඩා බත්මුල දෙසවත් නොබලාම අණ කළේය. විස්‌මිත වී බිරාන්තව මොහොතක් බලා සිටි සේන එකත්පක්‍ෂව තුරටිය අත්තක් කඩා නුග ගසේ එල්ලුවේ තරමක් තැති ගැනීමෙනි.
"මුන්නැහේ කොයි පලාතෙද...?"
"මං ඈත පලාතක නුගගහකට අධිගෘහිත දෙවිකෙනෙකුගේ කැප කරුවෙක්. මට හීනෙං කීවා මේ නුග ගහ බාර අරං මේ පැත්තට ආශිර්වාද කරන්ට යන්ට කියල. ඒ හිංද මෙතන දැං ශුද්ධ භූමියක්, යන එන ගමං බිමං වලට ශාන්ති කරවගන්ට, බාර ගැට ගහන්ට, දානෙ දෙන්ට මේ පළාතෙ ඇත්තන්ට තැනක් නෑ කියලයි මට යන්ට කීවේ. ඒ හිංද කාල ඉතිරි ඒවා නොවෙයි හරියට දාන මාන පිළිගන්නංඩ වෙයි."
"එහෙමයි" බියෙන් තැතිගත් සේන මිමිනුවේය. කුසුම් පොකුණ ජනපදය පුරාම නුගගසේ තාපසයා පිළිබඳ ආරංචිය ලැව් ගින්නක් සේ පැතිර යැමට වැඩි කලක් ගත නොවීය. එම නිසා අලුත් තාපසයා බැහැ දැකීමට කොල්ලෝ, කුරුට්‌ටෝ පමණක් නොව වැඩිහිටියෝද බොහෝ දෙනෙක් පැමිණයහ.
මුලදී මුලදී දාන මාන අතරින් පතර වැරදුනත් කලක් ගතවනවිට උදේ දහවල් යහමින් පුද පූජා ලැබිණි. වරක් ධාරානිපාත වැස්‌සකට හසුවූ තාපසයා හාවක් හූවක් නොමැතිව තෙමීගෙන නිසලව සිටිනු දැකගත් ගම්වැසියෝ දෙවියෝ කෝප වේයයි බියෙන් ලහි ලහියේ මඩුවක් සාදා දුන්නේ ඉක්‌මනින්ම ස්‌ථිර ගොඩනැඟිල්ලක් සැදීමේ අදිටනෙනි. මහපාරේ යන ඕනෑම කෙනෙක් කොල අත්තක් එල්ලලා ආශිර්වාද ලබා ගැනීම සුලභ දසුනකි. යාන වාහන වලින් යන්නවුන් පවා පිං කැටයට යමක් නොදමා යැමට බිය වූහ. වසරක් වත් යෑමට මත්තෙන් ප්‍රදේශයේ ජනතාවගේ ආශිර්වාදය මත තාපස තුමාට අංග සම්පූර්ණ ගොඩනැඟිල්ලක් හිමිවිය. නව ගොඩනැඟිල්ලේ දැං තාපසයාට වෙනම කාමරයකි. ආශිර්වාද ප්‍රජාව සඳහා දිග ගොඩනැඟිල්ලකි. දිනපතාම නුගගහ වටා අතුපතු හා පහන් පත්තු කිරීමට ගැමියෝ හුරු පුරුදු වූහ. විභාග කාලවලට තාපසතුමාගේ වෙනම ආශිර්වාද පූජාවකි.
"තාපස තුමානං මේ ගමට ලොකු වාසනාවක්... දැං මේ යායෙන් ඉස්‌සරට වඩා අස්‌වැන්න හොඳයි.... ඕං... නූල් දාගත්ත හුඟ දෙනෙක් විභාග ඉහළින්ම පාස් වෙලාලු මේ සැරේ...." ගැමියෝ තාපසතුමාගේ අනුහස් වර්ණනා කළහ.
දෙනියා සරමක් සහ කමිසයක් සිලිසිලි මල්ලක දමාගෙන කඩමංඩියට ගියේය. ඔහු පළමුවෙන්ම නෙත ගැටුන මයියංගනය බස්‌රථයට නැග්ගේය. තේවතුර බීම සඳහා අතරමග නතර කරන ලද බස් රථයෙන් බෑස කඩ කීපයකින්ම රස්‌සාවල් ගැන විපරම් කළත් පලක් නොවූයෙන් යලිත් ගමන් ආරම්භ කළේය. හෝරා දෙකකින් පමණ ගමන නිමාවූ බස්‌රථය නැවතුම් පොලේ ගාල් කරනලදී. බසයෙන් බැසගත් ඔහු ඉබාගාතේ ඔහේ ඇවිද්දේය. බස් නැවතුම්පළ යාබදින්ම එක්‌වරම මහා කලබලයකි.
"හොරෙක්... හොරක් ඔන්න ඕක අල්ලපියව්" තමා ඉදිරියට පිම්මේ දුවගෙන එන හැඩිදැඩි පුද්ගලයෙක් පිටුපස හඬා එන පිරිසකි. වහා ක්‍රියාත්මක වූ දෙනියා ක්‍ෂණයකින් හැඩිදැඩි පුද්ගලයා අල්ලා ගන්ට තැත්කළේ ඔහු අමෝරාගත් පිහියද නොතකාය. දෙනියායේ පා පහරින් දැඩිදැඩි පුද්ගලයා කපාහෙලූ ගසක් මෙන් බිම පතිත විය. එහෙත් පිහිපහරින් තුවාල වූ අත් අල්ලාගත් දෙනියා බිම වැටී මරහඬ දෙන්නට පටන් ගත්තේය. යුහුසුළු වූ අහල පහල පිරිස ඉක්‌මනින්ම දෙනියා රෝහලට ඇතුල් කළහ.
"අප්පේ තමුසේ නොහිටිංඩ ඕකව අල්ල ගන්ට වෙන්නෑ.... ලොකුම ලොකු උදව්වක් තමුසෙ කෙරුවෙ.... අනික ඌ පොලිසියට කට්‌ටි පැන්න මිනිමරුවෙක්... ඕනෑ උදව්වක් කියන්ට..."
හවස් යාමයේ තෑගි බෝගද රැගෙන තමාගේ සුවදුක් බැලීමට පිරිසක් පිරිවරාගත් පුද්ගලයෙකි. ඔහු තරමක් වැදගත් අයකු විය හැකියයි දෙනියාට සිතිනි.
"අනේ සර් මට මොනවත් එපා මට රස්‌සාවක් හොයල දෙන්ට..."
"රස්‌සාවක් නේද... හරි මම තමුසේ සනීප උන ගමන් මොකක් හරි කරන්නම්..." තුවාලය සනීප වී දෙනියා රැගෙන යෑමට ඔහු පැමිණියේය.
"තමුසෙ මං ඇමැතිතුමාට බාර දෙන්නම්. සේරම කතා කරලයි තියෙන්නේ..."
දෙනියා රත්නපාල ඇමැතිතුමාගේ ආරක්‍ෂක භටයකු බවට වහාම පත්විය. දෙනියාට දැන්නම් කියපුම රස්‌සාවය. සුදු අත්කොට කමිසයක්, කළු කලිසමක් සහ කළු සපත්තු කූට්‌ටමකින් නිතරම සැරසීගත් ඔහුට වැඩි කලක් යෑමට පෙර ඇමැතිතුමාගේ ළඟම ආරක්‍ෂකයා විය. ඔහු සාක්‌කුවේ ලා ගත් පිස්‌තෝලය වරින්වර එළියට ගෙන සාක්‌කුවේ දමා ගත්තේ මහත් ආඩම්බරයෙනි. ඔහු ආවේ ගියේ මොන්ටේරෝ රථයකය. ඇමැතිතුමා පසුපස අසුනෙන් බැසීමට පෙර ඉදිරිපස අසුනේ සිටින දෙනියා වහාම බැස පසුපස දොර විවෘත කර ඇමැතිතුමාට රථයෙන් බැසීමට උපකාර කිරීම පමණක් නොව ඇමැතිතුමා පිටිපස්‌සෙන්ම ගමන් කරයි. ඇමැතිතුමාගේ පමණක් නොව පවුලේම අයගේ විශ්වාසවන්ත පුද්ගලයා වීමට ඉක්‌මනින්ම ඔහුට හැකිවිය.
"දෙනියාය... තමුසෙ අර මරණ ගෙදර මං වෙනුවෙන් යනවා".
"එහෙමයි සර්".
වැඩිකල් ගතවීමට පෙර ඇමැතිතුමාගේ විශ්වාසවන්තකම නිසාම ඇමැතිතුමාගේ මළ ගෙවල්, මගුල් ගෙවල්, තොවිල් බවිල් පිංකම් සේරම නියෝජනය කිරීමට ඔහුට මහත් ගෞරවයකි.
"මං ඇමැතිතුමා වෙනුවෙන් ආවෙ" ඔහු ගැමියන්ට කීවේ මහත් උද්දාමයකින් යුක්‌තවය. ඇමැතිතුමාගේ ජීප් රථයෙන් බසින දෙනියාය මහත්තයාට කරන්ට බැරිදෙයක් නැති බව ගැමියෝ විශ්වාස කළහ. රැකියාවකට දැමීම, ලී පර්මිට් දීම, කොන්ත්‍රාත් ගැනීම, පොලිසියෙන් බේරා ගැනීම වැනි සබ්බ සකල දේටම ගැමියන්ට දෙනියාය මහත්තයා කප්රුකක් විය.
හදිසියේම විසුරුවා හැර මැතිවරණයක් ප්‍රකාශයට පත්කළේ මේ අතරතුරය. දෙනියාය මහත්තයා රත්නපාල ඇමැතිතුමාගේ ඡන්ද ව්‍යාපාරයේ බර කරටම ගත්තේය. දෙනියාය මහත්තයාට බියෙන් විරුද්ධ පාක්‍ෂිකයෝ පෝස්‌ටර් ගැලවීමට බිය වූහ.
"දෙනියාය... අර රැස්‌වීම් ටික හරිද...? පෝස්‌ටර් ගැහුවද....? මල්මාල කලිං ඇරියද...? බත් පැලට් ටික ඇරියද....?" ඇමැති තුමාගේ ප්‍රශ්න වැලකි. දෙනියාය අපූරුවට තම කණ්‌ඩායම මෙහෙය වීය. ඇමැතිතුමා මෙවර මැතිවරණයෙන් ගිය සැරේටත් වඩා ඡන්ද ගානකින් ජය ගත්තේය.
"මේ සැරේ ඔය යකාට ඡන්ද අඩුවෙලා තිබුණෙ. අර දෙනියාද මොකාද එකා හැම තැනම හොර ඡන්ද දාල මිනිහ දිනවල තියෙන්නේ..." ඒ ඇතැම් ගැමියන්ගේ චෝදනාවකි.
"දෙනියාය නැතිවෙන්ඩ මං කොහෙ දිනන්ඩද මේ සැරේ" ඇමැතිතුමා පිරිසට දෙනියාය මහත්තයව වර්ණනා කළේය. වසර දෙක තුනක් ඇතුළත ප්‍රාදේශීය සභා මැතිවරණයද ප්‍රකාශයට පත් කළේය.
"දෙනියාය... තමුසේ මේ සැරේ ප්‍රාදේශීය සභා ඡන්දෙට ඉල්ලනවා.. මං දිනවල දෙන්නම්... මට විශ්වාස කෙනෙක් එතන ඉන්ටෝනෑ..."
ඉහේ මලක් පිපුන දෙනියාය මහත්තය යටහත් පහත්ව කැමැත්ත පළ කළේය. මහ මැතිවරණය දිනාගත් ඇමැතිතුමාට ප්‍රාදේශීය සභා ඡන්දය කිරිකජු කනාන්වා වගේය. දෙනියාය මහත්තයාද විශාල වැඩි ඡන්ද ගණනකින් ජයග්‍රහණය කළ අතර ඇමැතිතුමාගේ අනුහසින් සභාපතිතනතුරට පත්වීමට තරම් වාසනාවන්ත විය.
"දෙනියාය,.. තමුසෙට හොඳ වාසනාවක් තියෙන මිනිහෙක් ඊළඟට පළාත් සභාවටත් යන්ට සූදානම් වෙනවා.."
"එහෙමයි සර්".
දෙනියාය මහත්තයට දැං වෙනම කැබ් රථයකි. ප්‍රාදේශීය සභාවේ සභාපති වීම නිසා උත්සව වල මූලාසනවල අඩුවක් නැත. පොලිස් නිලධාරීන් පවා තමා දෙස ගෞරව සම්ප්‍රයුක්‌තව බලන සැටි දැකීමෙන් ඔහුට කට කොනකට සිනා පහළ විය. ලී පර්මිට්, වැලි පර්මිට් මෙන්ම කොන්ත්‍රාත්වලින් හොඳ ගානක් අතයට ලැබුණ ද ඒවා සියල්ල ඡන්ද වැටඩ යොදාගන්නා බව ඇමැතිතුමාට ද දන්නා බැවින් ඔහුද නොදැක්‌කා සේ අහක බලාගෙන සිටියේ ය. ඒත් ඇමැතිතුමාට ද හොරෙන් දෙනියාය මහත්තයා දවසින් දවස තම බැංකු ගිණුම තකරගත්තේ හූනෙකුටවත් නොදැනෙන්නට ය. දැතේ මුදු මාල වලින් පිරීගිය දෙනියාය මහත්තයා සුදු පැහැ ජාතික ඇඳුමට අපූරු පෙනුමක් ගෙන දුන්නේ ය.
වසර කීපයක්‌ම දෙනියාය මහත්තයා ඇමැතිතුමාගේ ආශිර්වාදය මැද පළාත් සභාවට නාම යෝජනා දුන්නේ ඡන්ද ව්‍යාපාරය මහ ඉහළින් කිරීමට සියල්ල ලක ලෑස්‌ති කරමිනි.
"දෙනියාය අන්න අර හාස්‌කං තියෙන හොඳ දේවාලයක් තියෙනවා.... මමත් එතෙන්ට ළඟදි ගියා. ඡංදෙ රැස්‌වීම් පටන් ගන්ඩ ඉස්‌සරල කොයිකටත් එතනින් ආශිර්වාද ලබා ගන්නවා... හැබැයි හරි සෙනග. කල්තියා වෙලාවක් අරං යන්ටවෙයි...."
"හොඳයි සර්".
විස්‌තර වංහුං සොයාගගත් දෙනියාය සභාපතිතුමා පිරිසක් පිරිවරාගෙන වාහන කීපයකින්ම දේවාලයට උදේ පාන්දරින්ම යනවිටත් පිරිසක් පූජා වට්‌ටි සමගින් රැස් කකා සිටියහ. දේවාලයේ හාත්පස දෙපස පළතුරු කඩවලින් පිරීගොස් තිබිණි. ඉස්‌තරම්ම වර්ගයේ පලතුරු වට්‌ටියක් දෝතින්ම ගෙන කල්තියා ලබාගත් අංකයට ඇතුල් වීමට ද සෙනග ඈත් මෑත් කරමින් මහත් වෙහෙසක් ගැනීමට සිදුවිය. සභාපතිගේ සහචරයන් සෙනග එහාට මෙහාට තල්ලු කර සභාපතිට අවස්‌ථාව ලබාදුන්හ. පළතුරු වට්‌ටිය නලලේ තබාගත් සභාපතිතුමා තාපසතුමාගේ දොර අභියස යටහත් පහත් ලෙස බලාගෙන සිටියේය.
"මේ දරුව මොකද...?"
"තාපසතුමා මං මේ සැරේ ඡන්දෙ ඉල්ලනවා.. ඔබ තුමා බැහැ දැකල... ආශිර්වාද ලබාගන්ට ආවේ...."
"ශාන්ති.... ශාන්තී..... දරුවා මෙතන වාඩිවෙන්ට හොඳයි...." සභාපතිතුමා පුංචි පුටුවක හරිබරි ගැසී ඉඳගත්තේය.
"මහත්තය කොයි පළාතෙද... නම කොහොමද..."
"මම තාපස තුමා ටිකක් ඈත දෙනියාය පැත්තෙ. නම නං සෝමපාල. ඒත් මේ පළාතේ කියන්නේ දෙනියාය මහත්තයා කියල".
තාපසතුමා මොහොතක් වෙලා ඇසිපිය නොහෙලා සභාපතිතුමා දෙස එක එල්ලේම බලාගෙන සිටියේය.
"කෝ බලන්ට දකුණු අත..."
සභාපතිතුමා ජාතික ඇඳුමේ කමිසයේ අත මෑත්කොට අත දිග හැරියේය. තාපසතුමා අත හොඳහැටි පරීක්‍ෂා කර වටපිට බැලුවේය.
"මේ ළමයා පොඩ්ඩකට එළියට යනවද.... මට ලොකු යාතිකාවක් කරන්ට තියෙනවා... පැය භාගයට කව්රුවත් ඇතුළතට එවන්ට එපා..."
"එහෙමයි" ආවතේව කරුවා එළියට ගොස් දොර වසා දැම්මේය.
"ඔය දරුව දෙනියේ ගෙදර සෝමපාලද? අර වැව ඉස්‌මත්තෙ ගෙදර....?" සභාපතිතුමා විස්‌මිතව තාපසතුමා දෙස කට ඇරගෙනම බලා සිටියේය.
"ඔබතුමා පේන කියනවා වගේ කීව... කොහොමද හරියටම කීවේ..."
තාපසතුමා කිසිවක් නොකියා සභාපතිතුමාගේ අතේ හරස් අතට අඟල් දෙකක් පමණ වූ තුවාල කැලල හොඳින් අත ගා සිනාසුනේය.
"යකෝ දෙනියා... මේ අතට කඩුපාර වැදුනෙ... උඹයි මමයි හොරකං කරන්ඩ ගිහිං මතකද..." මම යකෝ ගොඩ්ඩා..."
"දෙයියෝ සාක්‌කි..." සභාපති උඩ ගොස් බිමට වැටින. කිසිවක් කතාකරගත නොහැකිව දෙදෙනාට දෙදෙනා බදාගෙන අතීතය වමාරන්නට විය. එහෙනං අපි දෙන්නටම හරි ගියා..."
"උඹට දැං ඇඟ රිදෙන්නැද්ද බං ගුටි කාපුවගේ..." දෙදෙනාටම මහ හයියෙං සිනාසුනහ...." මුං ඉන්නකල් අපට හොඳයි.... එහෙම්මම කරගෙන යං..."
"එතකොට උඹේ ආශිවර්වාදේ...."
"බම්බුවේ ආශිර්වාදෙ පලයං යන්ට... ඉක්‌මනටම අපි හම්බවෙමු. මං උඹට කතා කරන්නට...."
තම අකලංක මිත්‍රය දැකීමෙන් අතිශයින්ම සතුටට පත්වූ සභාපතිතුමා දිග සුසුමක් හරිමින් කැබ් රථයට ගොඩවිය.
"ඊළඟ දරුව ඇතුළට එවන්ට" ඒ තාපසතුමාගේ විධානයකි.