ස්වර්ණ පුස්තක සම්මානය ගැන.....

6 views
Skip to first unread message

Nissanka Rajapaksa

unread,
Feb 26, 2024, 8:36:01 PMFeb 26
to INDRAKA group
 පොත් දොළහ ගැන ගත් තීරණ වෙනුවෙන් මම පෙනී සිටිනවා  


ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

හත්වැනි ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේ අවසන් නිර්දේශය සඳහා මධ්‍ය මණ්ඩල සාමාජිකයන් පස්දෙනා විසින් පසුගියදා පොත් දොළහක් අතරින් පොත් පහක් තෝරා දෙන ලදී. ඒ පොත් පහ සෙංකොට්ටන්, අත අත නෑර, කාල සර්ප, තැප්පා සේම ගිනි සහ කන්දේ වීදියයි. මේ කෘති පහ තෝරා ගැනීම සඳහා දායක වූ විනිශ්චය මණ්ඩල සාමාජිකයන් පස් දෙනා ම වෙනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයන අංශයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සමඟ සිළුමිණ පුස්කලස කළ සංලාපය මේ කෘති කියැවීම පිළිබඳ පාඨක සමාජයට නව මාන විවර කර දෙනු ඇත.

ආචාර්ය නිර්මාල් මේ කෘති තෝරා ගැනීම සඳහා තමා භාවිත කළ නිර්ණායක පිළිබඳවත් ඒ කෘති පිළිබඳ ඔහුගේ කියවීමත් මේ සංලාපයේදී සෘජු ව ම ප්‍රකාශ කරන අතර ඒ කෘති පහ පිළිබඳ ව ම තමා වග කියන බවත් මේ සංලාපය මඟින් අවධාරණය කරන්නේ ය.

ස්වර්ණ පුස්තකය?

ඔබ ස්වර්ණ පුස්තක සම්මාන විනිශ්චය සඳහා සහභාගි වෙන්නේ ප්‍රථම වරට. ක්ෂේත්‍රයේ දී අපි ඔබ හඳුනාගන්නේත් සාහිත්‍ය විචාරකයකු වශයෙන් නොවෙයි. වෙනස් කියැවීමක් සහිත ඔබ මේ කාර්යය සඳහා ප්‍රවේශ වීමේ දී අනුගමනය කළ නිර්ණායක ගැන දැනගැනීමට අප කැමැතියි.

මෙතනදී ඉන්නෙ මම විතරක් නොවෙයි. පස් දෙනෙක් මේ මණ්ඩලේ හිටියා. මේ පස් දෙනාගේ තියෙන්නේ විවිධ ප්‍රවේශ. මම මේ පොත් පහ වෙනුවෙන් ම වගකියනවා. ඉවත් කළ පොත් හත වෙනුවෙනුත් වගකියනවා, ඇයි ඉවත් කළේ කියලා. මම මීට පෙර මෙවැනි වෙනත් විනිශ්චය මණ්ඩල කිහිපයක ඉඳලා තියෙනවා. ගොඩගේ විනිශ්චය මණ්ඩලයේ දෙවතාවක් සහ ගුණසිරි සිල්වා සංවිධානය කරන සම්මාන විනිශ්චය මණ්ඩලයේ. ගොඩගේ සම්මාන උලෙළේ එක් අවස්ථාවකදී මම කැමැති පොත නොවෙයි තේරුණේ. උදාහරණයක් විදියට මගේ තේරීම වුණේ ‘කළුවරයි පුරහඳ’ කෘතිය. නමුත් තේරුණේ ‘ලලිත සමය’ පොත.

නමුත් මෙතනදී මේ පොත් පහ වෙනුවෙන් මම පෙනී සිටිනවා.

වගකීම යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක් ද? නොතේරුණු පොත් හතෙන් තේරුණු පොත් පහ විශේෂ වන්නේ කෙසේ ද?

ඒකට බලපාන මිනුම් දඬු ගොඩක් තියෙනවා. මගේ මිනුම් දඬු සාමාන්‍යයෙන් කාරණා තුනක් යටතේ ගොඩනැ‍ඟෙනවා. මගේ අදහස තමයි කලා කෘතියක් මූලික වශයෙන් පාඨකයාට සාපේක්ෂ ව කොටස් තුනකින් සමන්විත වෙනවා. එකක් තමයි, නිර්මාණකරුවාගේ ‍ෆැන්ටසිය. ඒ කියන්නේ ඔහුගේ පරිකල්පනය, ඔහු හිතන විදිය. සරච්චන්ද්‍ර සාහිත්‍ය කියලා කියන්නේ කල්පනා ලෝකයකට නෙ. මගේ විවේචනය සරච්චන්ද්‍රගෙ මතය අර්ධ සත්‍යයක් කියන එකයි. ඒක එක පැත්තක්. ෆැන්ටසිය කොයිතරම් පොහොසත් ද, නිර්මාණාත්මක ද කියන දේවල් මම බලනවා.

දෙවැනි එක තමයි, කලාකරුවෙක් නිර්මාණයක් කරද්දි යම් යම් අමුද්‍රව්‍ය පාවිච්චි කරනවා. මේ ගන්න අමුද්‍රව්‍ය එකතු කරන විදියක් තියෙනවා. ඒවට අයිති වෙනවා චරිත ගොඩනඟන ආකාරය, භාෂාව ආදිය. මම මෙතනදී අදහස් කරන්නේ න, ණ, ල, ළ භේදය හෝ ව්‍යාකරණ නොවෙයි. පාවිච්චි කරන භාෂාව කොයිතරම් දුරට පාඨකයාට සමීප වෙනව ද කියන එක. ඊළඟට රූපක, ආඛ්‍යානය, ආදි අමුද්‍රව්‍ය යොදා ගන්නේ කොහොම ද කියලා මම බලනවා. ඒ තමයි දෙවැනි කාරණය.

තුන්වැනි කාරණය තමයි, මේ අමුද්‍රව්‍ය පාවිච්චි කරලා නිර්මාණය කරන නිර්මාණය තියන්නේ කුමන පසුබිමක ද යන්න. උදාහරණයක් විදියට චිත්‍ර ශිල්පියාගේ පසුබිම වෙන්නේ කැන්වසය. ඒක හිතලා මතලා කරන එකක් නොවෙයි. කතාව ගොඩනැ‍ඟෙද්දී ඉබේම ගොඩනැ‍ඟෙන දෙයක්. මෙතන මේ සාධක තුන දිහා මම මූලික වශයෙන් බලනවා.

ඔබ පෙර පැවසු ඔබ අවධාරණයෙන් බලාපොරොත්තු වෙන කරුණු තුන මේ තෝරාගත් කෘති පහේ තිබුණා යැයි ඔබ වගකීමෙන් ප්‍රකාශ කරනව ද?

වගකියන්නෙ නැත්නම් තෝරන්නෙ නැහැනේ. ඔබ එකින් එක අහනවානම් මට උත්තර දෙන්න පුළුවන්. නැත්නම් මට මෙහෙම කියන්න පුළුවන්. මම උපමා දෙකක් අරගෙන කතා කරන්නම්. උදාහරණ ලෙස තෝරා ගැනුණු එකක් සහ තෝරා නොගැනුණු එකක් වශයෙන්.

‘තැප්පා සේම ගිනි’ කියන නවකතාව තියෙනවානේ. දැන් මගේ අදහස තමයි අනුපිළිවෙළින් තේරුවොත් මගේ නිර්ණායක අනුව පොත් පහේ පහළින් ම තියෙන්නේ ඒක. ඒක මම මේ පොත් පහට තෝරා ගත්තේ ඇයි කියලා කෙනෙක් ඇහුවොත් මම ඒ පොත තේරුවෙ මම අර කලින් කියපු නිර්ණායක වලින් තුන්වැනි කරුණ නිසා. ඒ කියන්නේ කැන්වස් එක; පසුබිම. අනිත් දෙක නොවෙයි. චරිත, කතාව ගොඩනඟලා තියෙන කැන්වස් එක ලංකාවේ ඉතා වැදගත් වකවානුවක්, දේශපාලන සංසිද්ධියක්, සමාජ සංසිද්ධියක් මූලික කරගෙන තියෙන්නේ. උදාහරණයක් විදියට තරුණ කැරැලි දෙකක් ඇතිවුණු වකවානුව, වාමාංශික ව්‍යාපාරයේ පරිහානිය, වගේ දේවල්.

ගුණදාස අමරසේකරගේ ප්‍රේමයේ සත්‍ය කතාවක් සහ ප්‍රේමයේ අසත්‍ය කතාවක් කියන කෘතිවල විශිෂ්ට විදියට කතා කරන තේමාවල් මේකෙ තියෙනවා. මේ දෙක ගුණාත්මක වශයෙන් සන්සන්දනය කරන්න බැහැ. ගුණදාස අමරසේකරගේ ප්‍රේමයේ සත්‍ය කතාවක් සහ අසත්‍ය කතාවක් කියන්නේ ලංකාවේ බිහිවූ හොඳම නවකතා දෙක කියලා කියන්න පුළුවන් මට්ටමේ තියෙන්නේ. මේක ඒ මට්ටමේ නොවෙයි.

මම තෝරා නොගත් පොත් හතක් තියෙනවානේ. ඒවායේ තියෙන්නෙත් එක එක ප්‍රශ්න. අයින් කරපු පොතක් ගත්තොත් උදාහරණයක් විදියට මෙන්න මේ පොත ගැන බලන්න. ‘පර්ජන්‍යා’ කියන පොතේ කතුවරයාගේ ‍ෆැන්ටසි එක තමයි මූලික වෙන්නේ. ඒකෙ තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි මේක නවකතා කියන ෂානරයට ඇතුළු කරන්න පුළුවන් එකක් නොවෙයි. මේක සාමාන්‍යයෙන් හොඳ බණ පොතක්. උදාහරණයක් විදියට නවකතාව කියන නූතන සාහිත්‍යාංගය තියෙනවානේ. මේක යම්කිසි විදියකට අවට ලෝකය සමඟ විචාරාත්මකව අබිමුඛ වීමට අවශ්‍ය මාධ්‍යයක්. ගුණදාස අමරසේකර කියන්නේ නවකතාව කියන්නේ සමාජ සංවාදයේ උත්තර සංවාදය කියලා.

මම කියන්නේ ඒකම නොවුණත් අපිට යම්කිසි විදියකට ඒ ලක්ෂණ නවකතාවකදී අවශ්‍ය වෙනවා. ‘පර්ජන්‍යා’ කෘතිය කියවන්න පුළුවන් බැතිමතකුට. ඒක වෙනම සාහිත්‍යාංගයක්. අර රන්ජන් අමරරත්න කියලා තියෙනවා මෙහෙම.

මහාචාර්යවරයෙක් මේ පොත් තෝරාගත් අයට බණින සංවාදයක් තියෙන්නේ.

ඒකෙ තියෙන්නෙ පරණ කතාවක්.

“පරණ එහෙනම් මහා භාරතය, ජාතක කතා පොත, බයිබලය, කුරානය මේ සේරම විසි කරන්න ඕන”

මම මේ කියන්නේ ඒ කතාව නොවෙයි. පරණ කතාවක් කියන එක නොවෙයි. මහා භාරතය, ජාතක පොත, බයිබලය, කුරානය වගේ පොත් වෙනම වර්ගයක්නේ. අපි නවකතා කියලා ඒවා සලකන්නේ නැහැනේ. ඒවා වෙනම ෂානර. ඒවා පූජනීය ග්‍රන්ථ කියලා අපි හඳුන්වන්නේ. ශ්‍රද්ධාව වැඩවීම සඳහා පර්ජන්‍යා හොඳයි. නවකතාවක් තියෙන්නේ පාඨකයා තුළ ශ්‍රද්ධාව ඇති කිරීම සඳහා නොවෙයි. මහාවංශයේ හැම පරිච්ඡේදයකම කියනවා ‘හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා’ කියලා. මේක යම්කිසි විචාරාත්මක කියැවීමක්. ඒ නිසා ඒ ෂානරයට නවකතාව දාන්න බැහැ.

නවකතාව වශයෙන් ඔබ හඳුනාගන්නේ කුමක් ද යන්න මට ගැටලුවක් පැන නඟිනවා.

භාෂාව පාවිච්චි කරලා සම්පාදනය කරන ලියවිල්ලකට තමයි සාහිත්‍ය කියලා කියන්නෙත්. එහෙම ගැනුණු නවීන සමාජය පිළිබඳව විචාරාත්මකව අපට ඒ සමාජයට අභිමුඛ වීම සඳහා, පුළුල් සමාජ පසුබිමට අපිව යොමු කරන සාහිත්‍ය ආඛ්‍යානයක් තමයි මම නවකතාවක් කියලා ගන්නේ. මේව වෙන්කර ගන්න හරි අමාරුයි. කෙටිකතාවලින්, නවකතා වෙනස්වීම ගැන වගේ. නවකතාවේ කැන්වස් එක ලොකුයි. එය තමයි ප්‍රධානම දේ. චරිත විදාරණය කරමින් ලොකු සමාජ සන්දර්භයක් ගොඩනඟා ගැනීම තමයි නවකතාවේ ප්‍රධාන ලක්ෂණය.

මේ පොත් පහෙන් ඔබ ඔය මතුකළ ලක්ෂණ වැඩියෙන් ම අඩංගු වෙනවා යැයි සිතන්නේ කුමන ග්‍රන්ථයේ ද?

මගේ අදහස ‘කාල සර්ප’ කෘතියේ. මට අනුව ඒක තමයි එවැනි ලක්ෂණ පෙන්නුම් කරන පොත.

පොතක භාෂාව ගැන පෙරදී ඔබ සඳහන් කළා. අක්ෂර වින්‍යාසය හෝ ව්‍යාකරණ ගැනත් ඔබ ප්‍රකාශ කළා. මේ න්‍යායන් ගැන ඔබේ අදහස.

භාෂාව ගැන මගේ තියෙන්නේ මෙහෙම හැඟීමක්. අපි හිතමු යම්කිසි දෙයක් කියනවානේ. කියන දේ මට ආකර්ෂණීය සහ එමඟින් අර්ථ සම්පාදනය කරන්න ඕන. යම්කිසි අර්ථයක් සන්නිවේදනය කිරීම සඳහා ඒ අර්ථයේ තිබෙන බහුමානීය ස්වභාවය පාඨකයාට ගෙනියන ආකාරය අනුව තමයි මම භාෂාවේ පොහොසත් භාවය මනින්නේ.

අක්ෂර වින්‍යාස දෝෂ, ව්‍යාකරණ හා භාෂාමය සංදිග්ධතා ඔබේ විනිශ්චයේ දී කිසිදු බලපෑමක් කරන්නේ නැත්ද?

අක්ෂර වින්‍යාසය මම බලන්නෙ නැහැ. මොකටද මම බොරු කියන්නේ. න, ණ, ල, ළ ගැන මගේ තැකීමක් නෑ. භාෂාව ගැන විශේෂඥයෙක් කමිටුවේ ඉන්නකොට එයා ඒව ගැන බලන්න පුළුවන්. ක්‍රිෂාන්ත ෆෙඩ්රික්ස් භාෂාව පිළිබඳ විශේෂඥයෙක්. එයා ඒක බලනවා. එතකොට අපි ඒ ගැන කතා කරනවා. මොකද මගේ මිනුම් දඬු විතරක් නොවේනෙ මේකට බලපෑම් කරන්නෙ. උදාහරණයක් විදියට මම භාෂා විශේෂඥයෙක් නොවෙයි. අක්ෂර වින්‍යාසය මම දන්නේ නැහැ. මම ලියන ඒවගෙත් වැරදි තියෙනවා. මම ලියන ඒවත් ෆෙඩ්රික්ස් වගේ කෙනෙක්ට දීලා චෙක් කර ගන්නවා.

ඔබ එවැනි සොයා බැලීමක් අදාළ විශේෂඥයකුට දී කරගන්නේ ඔබත් ඒ ගැන යම් හෝ තැකීමක් කරන නිසා නොවේ ද?

මෙහෙමයි. සමහර වෙලාවට ඒක අනෙක් අය බලාපොරොත්තු වෙනවනේ. උදාහරණයක් විදියට මම පොතක් කියවද්දී න, ණ, ල, ළ මට කොහෙත්ම බලපෑම් කරන්නේ නැහැ.

අර්ථය මුළුමනින් ම වෙනස් කළ හැකි අක්ෂර වින්‍යාස දෝෂ තිබෙනවා. එවැනි තත්ත්වයකදී ඔබ කියවන වාක්‍යයේ වෙනම අරුතක් සම්පාදනය වීමේ හැකියාව පවතිනවා.

අර්ථයට කිසිම බලපෑමක් කරන්න අක්ෂර වින්‍යාසයට බැහැ. භාෂාව පිළිබඳ සුචරිත ගම්ලත්ගේ මතයට වඩා මගේ මතය සම්පූර්ණයෙන් ම වෙනස්. මම ඒ ගැන ඕනෑම කෙනෙක් එක්ක ප්‍රසිද්ධියේ කතා කරන්න කැමැතියි, කෙළවරකට යනකම්. බාගෙට නම් නොවෙයි. සමහර විට මට බණින්න පුළුවන් භාෂාව දන්නෙ නැතිවයි කතා කරන්නේ කියලා. බලමු භාෂාව දන්නෙ නැති ද කියලා. භාෂාව දන්නවා කියන්නේ කුමක් ද? මම දැන් ඔබට කතා කරනවානේ.

ඔබට මම කියන දේ තේරෙනවානේ. ඕනෑම භාෂාවක තියෙනවා කාලයක් තිස්සේ හැදුණු සම්මුති. හැම කෙනෙක් ම හැම සම්මුතියක් ම දන්නෙ නැහැ. උදාහරණයක් විදිහට න, ණ, ල, ළ සම්මුතිය මම දන්නෙ නැහැ. ඕනනම් මට ඒක ඉගෙන ගන්න පුළුවන්. හැබැයි ඒ සඳහා කාලය වැය කරන්න මට කිසිම උනන්දුවක් නැහැ. ඒක පාවිච්චි නොකරන අය ඉන්නවනේ. සිරි ගුනසිංහ, පියසීලි විජේගුනසිංහ, ලියනගේ අමරකීර්ති වගේ අය මේක පාවිච්චි කරන්නෙම නැහැ. පාවිච්චි නොකරම ඉන්න මට අමතක වෙනවා. කවුරුහරි හිටියොත් ඒකට වෙලාවකුත් තිබුණොත් මම මගේ ලේඛනවල ඒක හදා ගන්නවා. ඒක ප්‍රශ්නයක් නැහැනේ.

ඔබ යම්කිසි දේශපාලනික කියවීමක් සහිත කෙනෙක්. ඔබේ කැමැත්ත (Favourations) ඔබේ කියවීමට බලපෑම් කළ හැකියි. එය මේ පොත් තෝරා ගැනීමට බලපෑමක් කරන්න ඇති කියා මා කිව්වොත් ඔබේ පිළිතුර කුමක් ද?

ඒක වෙන්න පුළුවන්. මගේ මනෝ මූලික ස්ථානය, මගේ විෂය මූලික ස්ථානය ප්‍රතික්ෂේප කරන්න ඕන නැහැනේ. මම කියන්නෙ එතකොට තියෙන ප්‍රශ්නෙ තමයි ඒක වැදගත් ද නැත්ද කියලා හොයලා බලන එක. මම ගිහින් කිව්වෙ නැහැනේ අනේ මම මේ කමිටුවට ගන්න කියලා. මට ඇවිත් ආරාධනා කළා. මම ඉතින් මගේ වැඩ ගැනත් සලකලා බලලා ඒක බාරගත්තා. මම විතරක් නොවෙයි, තව හතර දෙනෙක් ඉන්නවා. ඒ අය විවිධ කියවීම් සහිත අය. මට සම්පූර්ණයෙන් ම වෙනස් විදියට හිතන අයත් හිටියා. ඒවා අවසානයේ සාකච්ඡා වෙනවා. මට අහු නොවෙන පැති ඒ අයට අහු වෙනවා.

මේ කැමැත්ත නිවැරැදි විනිශ්චයකදී බලපෑම් කළ හැකියි. ඔබ හිතනව ද ඔබේ අතින් ඒ ඒ ලේඛකයන්ට සාධාරණයක් ඉෂ්ට වුණා කියලා.

කොහෙත් එහෙමනේ. මට කියන්න පුළුවන් මේකයි.

“කවුරුහරි ලේඛකයෙක් හිතනව නම් මේ තේරුණු කෘතිවලට වඩා මගේ පොත හොඳයි කියලා ඒක අරගෙන එන්න පුළුවන් වෙන්න ඕන. උදාහරණයක් විදියට මේකට නොතේරුණු කෙනෙක් ඉන්න පුළුවන්නේ. ඒකයි මම කියන්නේ මේ පොත් දොළහම වෙනුවෙන් මම වගකියනවා. මේ තේරුණු පොත් පහට වඩා මගේ පොත හොඳයි කියලා නොතේරුණු පොත් හතේ කවුරුහරි කියනවානම් මම බැඳිලා ඉන්නවා ඒකට උත්තර දෙන්න. ඒකට මම ලෑස්තියි. ඔබ ඉස්සෙල්ල කිව්වනේ මගේ කැමැත්ත ගැන. ඒ මගේ කැමැත්ත පොදු එකක් නොවෙයි. උදාහරණයක් විදියට මම වාමාංශිකයෙක් නිසා වාමාංශික ප්‍රශ්න ගැන කතා කරන පොතකට විශේෂයෙන් කැමැති ද? ඒක විතරක් නම් සාධකය, එය පොදුවේ වැදගත්කමක් නැහැ කියලා කවුරුහරි කියනවනම් ඒක වෙනම ප්‍රශ්නයක්. ගම පිළිබඳව කරන විචාරාත්මක කියැවීම් තියෙනවානේ. මම සාමාන්‍යයෙන් ඒවටත් කැමැතියි.

දැන් මතයක් තියෙනවානේ ලිංගික කරුණු කතා වෙනවා වැඩියි කියලා. මට නම් ඒ ගැන අවුලක් නැහැ. ඒක අවශ්‍ය දෙයක්. මට අනුව ලිංගික කතිකාවක් එහෙමත් නැත්නම් ලිංගික ෆැන්ටසිය ආධිපත්‍යයක් (Dominance) දරන වාලුකා, මාගම්සෝලි, එකළොස් ගිනි වගේ ඒවා දුර්වලයි. ඒවා දුර්වල සාහිත්‍යමය ඉදිරිපත් කිරීම්.

සම්මත ආඛ්‍යාන විධි ක්‍රම ගැන ඔබේ අවධානය කෙබඳු ද? මේ විනිශ්චයේදී සම්මත ආඛ්‍යාන විධි ක්‍රමවලට ලැබුණේ කවර තැනක් ද?

මම සාහිත්‍ය ගැන විශේෂඥ‍යකු නොවේනේ. ඔබත් ඒක මුලින් පැවසුවා. මගේ ප්‍රධාන විෂය ක්ෂේත්‍රය සාහිත්‍ය විචාරය නොවෙයි. උදාහරණයක් විදියට ලියනගේ අමරකීර්ති වගේ කෙනෙක් ගත්තොත් ඔහු සාහිත්‍ය ගැන බැරූරුම් අධ්‍යයනයක් සහිත කෙනෙක්. ඒ වගේ කෙනකුට සාපේක්ෂව මම ඒ පිළිබඳ විශේෂඥයෙක් නොවෙයි. හැබැයි ලංකාවේ සාහිත්‍ය ගැන කතා කරන අය ඉන්නවනේ. ඒ අයට වඩා නම් මම ඉස්සරහ ඉන්නේ. ඒ විතරක් නොවෙයි මගේ සුදුසුකම් ගැන ඔබ මේ අහන ප්‍රශ්නෙට මම උත්තර දෙන්න ඕන මම මේක ඉල්ලලා ගත්තානම්නේ. මම රස්සාවකට යද්දි නම් මගේ සුදුසුකම් ඉදිරිපත් කරලා ඒක ඉල්ලා හිටින්න ඕන. මෙතැනදි මගේ සුදුසුකම් අහන්න අයිතියක් නැහැ. මොකද මට කතා කරලනෙ මේක බාර දුන්නෙ.

නමුත් මගේ ප්‍රශ්නය වුණේ ඔබ ඇතුළු විනිශ්චය මණ්ඩල සාමාජිකයන් සම්මත ආඛ්‍යාන විධි ක්‍රමවලට අනුගතව ද මේ කෘති තෝරාගත්තේ යනුවෙන්.

ඔව්. මම මුලින් ම කියපු කාරණාත් එක්ක මේකෙ මෙහෙම දෙයකුත් තියෙනවා. ජයතිලක කම්මැල්ලවීරගේ ‘තාත්තලාගේ කතාව’ නවකතාව ගැන ජාතික පුස්තකාලෙ සම්මන්ත්‍රණයක් තිබුණා. එහිදී ප්‍රධාන දේශනය කළේ ජයදේව උයන්ගොඩ. ජයදේව උයන්ගොඩ කියන්නේ ඉතාම තියුණු සාහිත්‍ය විචාරකයෙක්. අවාසනාවකට වගේ එයා සාහිත්‍ය විචාරය කරන්නේ නැහැ. එහෙම කළා නම් ලංකාවේ සාහිත්‍ය විචාරකයන් කියලා ඉන්න අගුටුමිට්ටො කැලේ. එයා කිව්වා ලංකාවේ සාහිත්‍ය තුළ තියෙනවා කියලා ආඛ්‍යාන විධි ක්‍රමය ගැන ප්‍රශ්නයක්. මේක බොහොම සාම්ප්‍රදායික එකක් කියලා. අලුත් සාහිත්‍ය ප්‍රවණතා ගැන කතා කරන්න තරම් ඒක ප්‍රමාණවත් නැහැ කියලා. ඔතැන හිටියා තරුණ සාහිත්‍යකරුවෝ බොහොමයක්. මේ අය කිසිම ප්‍රශ්නයක් නැතිව මේක බාර ගත්තා. ඒ කාලෙම තමයි ගාමිණි වියන්ගොඩ මාර්කේස්ගෙ පොත් එහෙම පරිවර්තනය කරන්න පටන්ගත්තේ.

ඊළඟට විභවි එක ආශ්‍රිතවත් සාකච්ඡා ගොඩනැඟුණා. ආඛ්‍යාන විධි කියන සාකච්ඡාව ඒ කාලෙ ආවා. දැන් මේ නිසා සමහරු පොත් ලියන්න පටන් ගත්තා. අලුත් ආඛ්‍යාන විධිවලට. උදාහරණයක් විදියට සයිමන් නවගත්තේගමගේ ‘සංසාරණ්‍යයේ දඩයක්කාරයා’ වගේ පොත් මේකට කලින් ආව ඒවා. ඒකෙ තියෙන්නෙ වෙනස් ආඛ්‍යාන ක්‍රමයක්. හැබැයි ඒකෙ ආඛ්‍යානය දරන්නෙ ඔහුගේ අත්දැකීම. ලංකාවේ ෆැන්ටසි එක හොඳ නිර්මාණයක් වීම සඳහා හොඳම උදාහරණය සයිමන් නවගත්තේගම. දැන් ගොඩක් අය ඒක කරන්න යනවා. උදාහරණයක් විදියට ‘දඩයක්කාරයා’ කියන රූපකය ‘වාලුකා’ කියන එකේ ඉතාම දුර්වල විදියට තියෙනවා. මම කියන්නේ මේකයි. 90 ගණන්වලින් පස්සේ ගොඩක් අය අලුත් ආඛ්‍යාන රීති අනුව හිතලා ලියන්න ගත්තා, අපි දැන් මාර්කේස් ‍වගේ ලියන්නෙ කියලා. මම නම් ඒවට අහුවෙන්නේ නෑ. මා බලන්නේ මම අර මුලින් ම කියපු සාධක තුන ගැන විතරයි.

විශ්ව සාහිත්‍ය ඇතුළත මේ පොත් ස්ථානගත වෙන්නේ කවර මට්ටමක කියල ද ඔබ හිතන්නෙ.

මේවා සාපේක්ෂයිනේ. සමහරු කිව්වා මේකෙන් එකක්වත් තෝරන්න බැහැ කියලා. මගේ අදහස නම් අපිට කරන්න දෙයක් නෑ. අපි තෝරන්නේ මේ දොළහෙන් පහක්. ‘අත අත නෑර’ කොපියක් කියලා සමහරු කිව්වා. කමිටු සාමාජිකයෝ ඒ ගැන හොයලා තිබුණා. ශ්‍රම විභජනය ඇතුළත අනෙකාගේ නිර්දේශය වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ඒක පදනම් විරහිතයි. අනුකරණය කළාට ප්‍රශ්නයක් නැහැ. ලෝකෙ එහෙම ශුද්ධ දේවල් නැහැනේ. සම්පූර්ණ කොපියක් නම් හිතන්න ඕන. ඒත් මේක දිහා බැලුවහම ඒකෙ තියෙනවා අපේ මූලය. ඒ පොතේ බහුමානීය ගතිය වැඩියි. ඒ අතින් ඒක පොහොසත්. හොඳ සාහිත්‍යමය නියෝජනයක්. අනෙක් පොත්වලත් එහෙම විශේෂතා තියෙනවා. මම ඇසුරු කළ මට්ටමේ කෘතිත් එක්ක මේවායේ යම් අඩුපාඩු තියෙනවා.

මේ කෘති අතර ඔබේ තේරීම එහෙමත් නැත්නම් ඔබට අනුව ස්වර්ණ පුස්තකය කුමක් ද?

කාල සර්ප. පරිපූර්ණ ලක්ෂණ තියෙන්නේ ඒකෙ. සාහිත්‍ය කෘතියක මම බලන ප්‍රධාන ලක්ෂණයක් තමයි අව්‍යාජත්වය. කාල සර්ප වලට වඩා දුරින් අනෙක් කෘති තියෙන්නේ. අපිත් පොතක් ලියන්න ඕන කියලා හිතලා ලියන පොත් තියෙනවනේ. ඒ කියන්නේ සෑහෙන්න පරිශ්‍රමයක් දරලා ලියන පොත්. මේ පොත එහෙම නැහැ. වසන්ත කුමාර කියන මෙහි එන චරිතය මට ගොඩක් සමීපයි. ඔහු මම හිටපු කාලේ හිටපු විශ්වවිද්‍යාල තරුණයෙක්. දැන් ඔබ කියයි මම මගේ පෞද්ගලික රුචිය නිසා ඒකට කැමැතියි කියලා. ඉතින් ඒක මට ලැබුණු වාසියක්. ඇත්තට ම ඒ පොත මාව කම්පනය කළා. වසන්ත කුමාරගේ චරිතය සාහිත්‍යමය වශයෙන් ගොඩනඟන්න දරපු විශිෂ්ටතම උත්සාහයක් එහි තිබෙනවා. එහි තිබෙනවා අතිවිශාල සාහිත්‍යමය පරිකල්පනයක්. මම මීට කලින් කීර්ති වැලිසරගේ ගේ පොත් කියවලා නැහැ.

සාහිත්‍ය කෘතියක තියෙන්න ඕන ප්‍රධානම ලක්ෂණය තමයි පාඨකයා කම්පනය කරන්න ඕන.

සංලාපය - සුමුදු චතුරාණි ජයවර්ධන

https://archives.silumina.lk/punkalasa/20130901/_art.asp?fn=ar1309011

Nihal Ananda

unread,
Mar 7, 2024, 9:53:51 AMMar 7
to ind...@googlegroups.com
  "කාල සර්ප" සහ    "සෙන් කොට්ටං"  

නිර්මාල් ගේ මේ සාකච්චාව ගැන .....  කියවූ ගමන් අදහසක්  ලියන්න හිතා හිටියත් අතපසු වුනා. 
සාකච්චා කරන කරුණු, දැන් නම් තරමක් අමතකයි /

මේ කියන සම්මාන අවස්ථාවට ඇතුළත්වූ  අවසාන පොත් 5  , මුල් paragraph එකේ සඳහන්. 
කිර්ති වැලිසරගේ  "කාල සර්ප" සහ මස් ඉභුලගේ   "සෙන් කොට්ටං"  පොත් ගැන මෙහි ඇතුලත්. 
නිර්මාල් ගේ තේරීම  *කාල සර්ප * බවයි පෙනෙන්නේ. ඒ පොත ගැන යම් අදහස් ද දක්වනවා. 
*සෙන් කොට්ටං * ගැන කිසිම අදහස් දැක්වීමක් නැහැ. 
අවසාන වශයෙන් සම්මානයට පාත්‍ර වුයේ * සෙන් කොට්ටන් * පොතයි. 
එය සමීක්ෂකයන්  වැඩි දෙනාගේ කැමැත්ත මත සිදු වුවක් විය හැකියි. 

මමත්.... මේ පොත් දෙකම කියවා තිබෙනවා.
තවමත්  මතකයේ , කතා දෙකම තිබෙනවා. 
සාමාන්‍යයෙන් පලවන නවකතා සමඟ බැලීමේදී , අනිවාර්යයෙන් කියවිය යුතු  හොඳ පොත් බව කිව හැකියි. 
සංසන්දනාත්මකව බැලුවොත්,  මගේ තේරීමත් * සෙන් කොට්ටන් * තමයි. 


Reply all
Reply to author
Forward
0 new messages