දිවි නැගුම ගෙවත්තේ – කිමද මරණය ගෙන්න ගත්තේ

56 views
Skip to first unread message

සුමල්

unread,
Jun 16, 2011, 8:31:02 AM6/16/11
to gov...@googlegroups.com
දිවි නැගුම ගෙවත්තේ – කිමද මරණය ගෙන්න ගත්තේ
දිවි නැගුම ගෙවත්තේ
දෙමුහුන් බීජ ඇත්තේ
රස පෙහොර මත්තේ
කිමද මරණය ගෙන්න ගත්තේ

ආර්ථික අර්බුදයක් තිබූ කාල වකවානුවක් පසු කර ලෝක අහාර අර්බුදයක් කරා මනුෂ්‍ය ප්‍රජාව සංක්‍රමණය වී තිබේ. පසුගිය ආර්ථික අර්බුද සමයේ දී විදේශ රටවල සේවය කරන ලංකාවේ ජනතාවට යම් කිසි අසීරුතාවයකට මුහුණ දීමට සිදූ වුවද යුද්ධයකට මැදිව සිටි අවස්ථාවකදී නමුත් ලංකාවේ එතරමි ආහාර අහේනියක් සිදූ නොවූ බව මතකය. එහෙත් වත්මන් තත්වය එසේ නොවේ. පසු ගිය දා ඇති වූ ගංවතුරාවත් සමගම රට තුල විශාල ආහාර අහේනියක් හට ගෙන තිබේ.

ලංකා ජනතාවගේ ජීවන රටාව සැකසී තිඛෙන්නේ ගොවිතැන මූලික කරගෙනය. නිවැරදි නිෂ්පාදනය හා නිවැරදි පරිභෝජනය මෙම ජීවන රටාවේ සුවිශේෂී ලක්ෂණයෙකි. යටත් විජිත ග්‍රහණය සහ නිදහසින් පසු ලංකාවේ දී අනුගමනය වූ නොගැලපෙන සංවර්ධන රටාවන් නිසා මෙම ජීවන රටාව අර්බුදයට පත්ව ඉහතකී ආහාර අහේනිය බරපතල තත්වයකට පමුණුවා ඇති බව පැහැදිළිය.

ඉන්දියානු සාගරයේ කුඩා දිවයිනක් වශයෙන් පිහිටා තිබෙන ලංකාව කෙරෙහි දේශගුණික බලපෑමි විවිධ අන්දමින් එල්ල වේ. සාගරයේ සහ වායු ගොලයේ කැළඹීම් නිරන්තරයෙන් සිදූවේ. ඒ අනුව නියන් හෝ ගංවතුර තත්වයක් ඇතිවීම වැලැක්විය හැකි නොවේ. එහෙත් මේ දේශගුණික තත්වයන්ට මුහුණ දීමට අවශ්‍ය පරිසරය සකස් කර ගැනීමට පුරාණ ජනතාව පුරදූ පුහුණු වී සිටියහ. නියඟයට ගං වතුරට ඔරොත්තු දෙන බීජ වර්ග  සූදානමි කර තබා ගැනීමට ඔවුහු සමත්ව සිටියහ. එම නිසා සියවස් ගණනාවක ඉතිහාසය යනු අභියෝග ඉදිරියේ නොසැලී ජාතියක් වශයෙන් හිස කෙලින් කරගෙන ජීවත්  වූ කාලවකවානුවක් බව අප සිහිපත් කල යුතුය.

ඉංග්‍රීසීන් විසින් 1818 න් පසුව ඌව වෙල්ලස්ස විනාශ කිරීම රාජකාරිය අහෝසි කිරීම ආදී පියවර ගැනීමෙන් සිදූවූ ගොවිතැන් හානියේ දී පවා සිංහල ජනතාව තම අනන්‍යතාවය රැකගෙන සිටියේ තමන්ට ආවේණීක ජීවන ක්‍රමයක් අනුගමනය කිරීම නිසාවෙනි.

වත්මන් ආහාර අහේනිය හමුවේ රජයේ ඉදිරි ගමනට ද අභියෝගයක් එල්ල වී ඇත. ජනතාවට ආහාර සැපයීම අහාර මිළ පාලනය කිරීම රජයක මූලික වගකීමක් ලෙසට සැලකීම මීට හේතුව යයි සිතමි. ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ මිළ පාලනය රජයේ මූලික වගකීමක් වුවද ආහාර සැපයීම වගකීමක් නොවේ. ඒ වෙනුවට ආහාර නිෂ්පාදනයට අවශ්‍ය පහසුකම් සැපයීමේ වගකීම දැරීම රජයේ මූලික යුතුකමක් වේ. පුරාණ රජවරු පවා ඒ සම්ප්‍රදාය අනුගමනය කළ බව කිව යුතුය.

නිදහසින් පසු ලංකාවේ විවධ යුග වලදී ජාතික කෘෂිකර්මයට සුවිශාල ස්ථානයක් ලබා දුන්හ. රජයේ ආර්ථික ප්‍රතිපත්ති වලදී සංවර්ධන ක්‍රියාදාමයන් ඉදිරියේ දී ගොවිතැන මූලික විය. නිෂ්පාදන සංග්‍රාමය ආදී තේමා පාඨ අතීතයේ දී නිරන්තරයෙන් භාවිතා විය. වර්තමානයේ දී අපි වවමු රට නගමු වැනි තේමා පාඨ ද භාවිතා වෙයි. රජයේ නවතම තේමා පාඨය දිවි නැගුමයි. කෘෂිකර්මයට අමතරව එහි විවිධ අරමුණු වෙයි.

දිවි නැගුම යටතේ ලංකාවේ ගෙවතු දසලක්ෂයක් සංවර්ධනයට දායක වීම රජයේ බලාපොරොත්තුව වෙයි. සැබවින්ම අපි වවමු රට නගමු සංකල්පයෙන් ද එය එලෙසින්ම බලාපොරොත්තු වූ බව බව  අපට මතකය. ජනතාව යම්කිසි උනන්දූවකින් ගෙවතු  භෝග වගාවට නැඹුරු වූ බවද සත්‍යයෙකි.  එසේ නමි යලි යලිත් තේමා පාඨ මූලික කර ගනිමින් සංවර්ධන ක්‍රියාදාමයන් අවශ්‍ය වී ඇත්තේ ඇයි දැයි මදක් කල්පනා කර බැලිය යුතුය.

විවෘත ආර්ථික ප්‍රතිපත්ති මත ලංකාවේ ආර්ථික ඉලක්ක එකම දිශාවකට ගමන් කිරීම මෙයට ප්‍රධාන හේතුවයි. එක් කලෙකදී බස්නාහිර පළාතේ කුඹුරු ගොඩ කොට නගර ගොඩ නැගීම ගැන කථා විය. පසු ගිය ගං වතුර සමයේ දී බිත්තර වී ටික පමණක් හෝ ඉතිරිව සුරක්ෂිතවූයේ මේ පළාත් වල කුඹුරු කල නිසාවෙනි. ඒ බැව් තවමත් වටහාගෙන ඇත්දැයි සැක හිතේ. එසේම සුපිරි වෙළෙද පළ ඉලක්ක කර ගත් වෙළෙද පළ ආර්ථිකයකට සහ භෞතික සංවර්ධනයකට අනවශ්‍ය ආකාරයට දායක වීම ද මගින් සැබෑ කෘෂිකර්ම පසුබිමක් ලංකාවේ පසුගිය කාලයේ දී ඇති නොවූ බව කිව යුතුය. ලංකාවේ බැංකු ක්‍ෂේත්‍රය පවා මෙයට වග කිව යුතුය.

ගෙවතු වගාව නැන්වීම මගින් ආහාර අහේනියට පිළියම් සෙවීම පමා වී හෝ ආරම්භ කිරීම සතුටකි.එහෙත් මෙම  ගෙවතු වගාව ආවාට ගියාට කළ හැකි දෙයක් නොවේ. කරපිංචා රමිපේ සේර පොල් ආදී ශාඛ වර්ග වර්ෂය පුරාවටම ගෙවත්තේ දක්නට ලැබුණද එළවළු කහ ඉගුරු අදී වර්ග ද අල වර්ග ද දක්නට ලැබෙන්නේ වගා කන්නයකදී පමණකි. එය ලංකාවේ ගොවි සම්ප්‍රදායයි. ගෙවත්තෙන් ලැබෙන එළවළු වලට අමතරව වනයෙන් ලැබෙන වන පළා ද ආහාර පරිභෝජනයේ දී අපට ඉතා වැදගත් විය.

එසේම ආහාර සුරක්ෂිතතාවය ඇති කර ගැනීමට ඉවහල් වන අනෙක් භෝග අතර ඉහළින්ම දක්නට ලැබෙන්නේ කුරහන්ය. මාස් කන්නයේ ප්‍රධාන බෝගයක් වන කුරහන් වර්තමානයේදී ඉන්දියාවෙන් සහ වියටිනාමයෙන් ලංකාවට ගෙන්වති. පසුගිය ගං වතුර විපත් නිසා කුරහන් වගාවටද යම්කිසි තරමකට හානි වූ බව දැනගන්නට ලැබී ඇත. නමුත් රජය කුරහන් ගොවිතැන පිළිබද එතරමි උනන්දූවක් දක්වන්නේ නැත. සැබවින්ම කුරහන් වලින් සාදා ගන්නා ලද ප්‍රධාන ආහාරය වන තලප සිංහල ජිවන රටාවට සරිලන  පිරිමහින ආහාරයක් බව කිව යුතුය. අඩු වියදමකින් මෙම පෝෂණීය ආහාරය සකස් කොට ගෙන සෞඛ්‍ය ආරක්ෂිතව පරිභෝජනය කර ගැනීමට ද අවස්ථාව ලැබේ. නමුත් මේ අගනා ආහාරය ඉදිරියේදී කුරහන් සාටකයට පමණක් සීමාවන තත්වයක් උදාවීම කණගාටුවට කරුණකි.

කුරහන් ගොවිතැනට අමතරව තල ගොවිතැන ද ලංකාවේ ආහාර සුරක්ෂිතතාවයට බලපායි. මාස් කන්නයේ අස්වනු නෙලා ගැනීමෙන් පසු ඉපනැල්ලට හෝ එළි පෙහෙළි කර ගන්නා හේනට ඉසින තල භෝගය මැදින් මාසයේ නොහොත් මාර්තු මාසයේ කෙරෙන්නෙකි. කිසිම පොහොරක් නොකරන අතර පලිබෝධ හානිය ද ඉතා අවමය. වගා කරන ලද භූමියේ යම් කිසි විෂ තත්වයක් ඇත්නම් එයද ඉවත් කිරීමේ බලයක් මේ තල වලට ඇතැයි පැවසේ. නිදසුනක් වශයෙන් බුලත් පාත්තියකට රෝග සැදූන කල්හි එය වඳ කර ගැනීමට තල ඇට ඉසීම දැක්විය හැකිය. තල ආහාර ද අද තල ගුලියට සීමා වී ඇත. තල වලින් සාදා ගන්නා තල ආනම සහ තල මැල්ලුම බතට රොටියට පිටිටුවට අවුළා යන අඩු වියදම් සහිත පෝෂණීය ආහාරයක් බව කිව යුතුය.

ගංවතුරෙන් පීඩාවට පත්වී හේඩාවට ගිය රජරට යලි පිබිදවිය හැක්කේ මේ තල

ගොවිතැන ගැන උනන්දු වීමෙනි. අතර මැදි කන්න වල වී ගොවිතැන් කොට පලිබෝධ හානි වලට මැදි කර ගැනීමට වඩා තල ගොවිතැනට ගොවීන් යොමු කරලීමේ දීප ව්‍යාප්ත වැඩ සටහනක් ආරම්භ කිරීම වඩා ඵලදායී වේ යයි සිතමි.

තල ගොවිතැනට අමතරව දේශීය අල ගොවිතැන ද ආහාර සුරක්ෂිතතාවය ඇති කරන ප්‍රධාන භෝග වගාවකි. අල ප්‍රභේද 40 කට අධික  සංඛ්‍යවක් තවමත් සුරක්ෂිතව පව

තින බව කිව යුතුය. අල පිළිබද ස්වාධීන සංරක්ෂණ මධ්‍යස්ථානයක් ද අරණායක පිහිටා ඇත. මේ ප්‍රභේද අතරින් වැල් අල වර්ග මැදින් මාසයේ පොළවට දැමිය යුතුය. දෙමස් අල වැනි අල වර්ග අවුරුද්දේ ඉතිරි මාස වලදී පොළවට දැමිය හැකිය. ඉන්නල වගාව පිළිබදව උනන්දු වුවහොත් ඒ සදහා උදව් උපකාර කලහොත් විශාල ප්‍රථිඵලයක් අත් කර ගත

හැකියයි සිතමි. මේ සියළුම සම්ප්‍රදායික ගොවිතැන් ක්‍රම පලිබෝධ නාශක සහ රසායනික පොහොර යෙදීමෙන් තොරව පවත්වාගෙන යාහැකි වීම ඉතා වැදගත් කරුණකි. ආසනික් ඇතුළු වස විස මගින් රටම ලෙඩ කරවා ඇති මේ සමයේ දිවි නැගුම සඳහා මූලික කර ගත යුතුව තිඛෙන්නේ මෙම පාරම්පරික ක්‍රම වේදයයි.

ලංකාවේ ගොවිතැන් සම්ප්‍රදාය මෙලෙස වුවද එම රටාව වැඩි දියුණු කරලීම සඳහා ලැබෙන දායකත්වය ඉතා අල්පය. රජයේ වැඩ සටහන් හුදෙක් සැණකෙළි වලට සීමාවී තිබේ. නිළධාරීහු තමන්ගේ චක්‍රලේඛන වාර්තා වලින් පිට පනින්නේ කලාතුරකිනි. ඒ මදිවාට මේ අතරට කෘෂි ව්‍යාපාර සමාගම් මැදිහත් වීම නිසා බීජ පොහොර සහ පලිබෝධ නාශක වෙළෙදාමක් සහ කොමිස් ලබා ගැනීමත් ජයටම සිදූ වේ. දිවි නැගුම වැඩ සටහනේ දී පවා පොහොර මල්ලක් ලබා දීම එතරම් හොඳ පියවරක් නොවේ. ගෙවතු වගාවේ දී රසායනික වස භාවිතය සම්පූර්ණයෙන්ම ඉවත් කෙරේ නම් එය නිරෝගී ජනතාවක් බිහි කරලීමට ගන්නා එඩිතර තීරණයක් වනවා නිසැකය. එහෙත් නිදහසින් පසු ලංකාවේ බිහි කරන ලද කෘෂිකර්මය තවමත් ගොවි සමාගමි වල අත්අඩංගුවේ පැවතීම රහසක් නොවේ. වර්තමානයේ දියත්ව ඇති බීජ වෙළෙදාම සහමුලින්ම සමාගම් මැදිහත්ව කෙරෙන්නෙකි. මේ සඳහා බහුතරයක් නිළධාරීන් ගේ සහයෝගය නොමසුරුව ලැබේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිපදවන ගැලපෙන බීජ තිබුණද ඒවා ගොවීන් අතරට දැන් යන්නේ කලාතුරකිනි. උදාහරණයක් වශයෙන් කැප්පෙටිපොළ බෝංචි බීජ සහ අර්තාපල් බීජ අල පෙන්වා දිය හැකිය. දිවි නැගුමේ බීජ පාර්සලය තුල පවා දෙමුහුන් (හයිබ්‍රීඩ්) බීජ තිබුණු අතර ඒම සැපයීම පිටුපස බීජ සමාගමි සිටි බව නොරහසකි. කටුසර භෝග සංවර්ධනයට දායක වූ මහ ඉලුප්පල්ලම පර්යේෂණායතනයෙන්ද අද ප්‍රමාණවත් මෙහෙයක් ලැබ නොගන්නා බවද මතක් කල යුතුය. දිවි නැගුම සඳහා රජයේ ආයතන අවශ්‍යයෙන්ම නගා සිටුවිය යුතු බවද අවසාන වශයෙන් මෙහිදී මතක් කරමි. එසේ නොමැතිවුවහොත් මෙම වැඩසටහන යලිත් ව්‍යාපාරිකයින්ගේ හොද්ද බොර කිරීමක් පමණක් බවට පත්වනු නිසැකය. එය ආහාර සුරක්ෂිතතාවයට බලවත් තර්ජනයක් ද එල්ල කරනු ඇත.

- මතුගම සෙනෙවිරුවන් (mathugamas...@gmail.com)




Thilak Mallawaarachchi

unread,
Jun 16, 2011, 6:09:31 PM6/16/11
to gov...@googlegroups.com

An excellent write-up which applies equally to countries like Australia where I live. If we were to be 'sustainable' we need to rely on sustainable practices that are applicable to local conditions. I raised these issues when I was with the Coconut Research Institute in '80s and a focus on proper farming systems research in developing an more adaptive agriculture will pay high dividents.

 

Sorry I cannot write efficiently in my own tongue in this machine.

 

Best wishes

 

Thilak

--
--~--~---------~--~----~------------~-------~--~----~
මෙහි පළවන ලිපිවලින් ප්රකාශ වන්නේ එම ලිපියේ කර්තෘගේ මතය යි
 
If you have trouble viewing or typing Sinhala Unicode, please visit the
http://www.siyabas.lk/files/SinhalaTamilKit_XP.exe
 
 
ඔබට සිංහල ලියන්න අමාරුද ? එසේ නම් පියනගින්න
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

Reply all
Reply to author
Forward
0 new messages