අරූප භවයරූපයෙන් තොර භවය අරූපී භවයයි. එහි රූප නොමැත්තේය. කාම රූප යන භවයන්ට වඩා වැඩි ශක්තියක් අරූපභව ලාභියාට හිමි වේ. ‘සිත මිස කය නැති බඹ ලොව සතරකි ‘ මෙය බෞද්ධයන් අතර ඉතා ප‍්‍රසිද්ධය. රූප භවයෙන් ආරම්භ වන ධ්‍යාන අරූප භවයේ දී වැඩි දියුණු වේ. රූප භවයේ සඳහන් පංචම ධ්‍යානය අරූප භවයට සම්බන්ධකම් කියන්නෙකි. රූප භවයේ සේම අරූපී භවයේද අරූපාවචර කුසල, විපාක, කි‍්‍රයා වශයෙන් ති‍්‍රවිධය. කුසල සිත් සතරක් ද, විපාක සිත් සතරක් ද කි‍්‍රයා සිත් සතරක් ද ඇතුළුව අරූපාවචර සිත් දොළොසකි. අරූපී භවය පිළිබඳ මෙම කුසල විපාක, කි‍්‍රයා යන අංග තුන ඔස්සේ සොයා බැලීම සෑහේ.
අරූපාවචර කුසල සිත් සතරකි. 1. ආකාසානඤ්චායතන කුසල් සිතය 2. විඤ්ඤාණඤ්වායතන කුසල් සිතය 3. ආකිඤ්චඤ්ඤායතන කුසල් සිතය 4. නෙවසඤඤා නාසඤ්ඤායතන කුසල් සිතය මේ අරූපාවචර කුසල සිත් ඇති කර ගන්නේ රූපි වූ කය කරදර සහිත බැවිනි. රූප ධ්‍යානයට හිත යොමු කොට ධ්‍යාන ලබා ගත් පසු තව තවත් සමාධී ගත සිත වඩන්නේය. රූපවචර පංචම ධ්‍යානයට පත් වූ පසු එම පුද්ගලයාට අරමුණු වන්නා වූ රූපයන් ද කරදරයකි. එබැවින් එයින් මිදීමට සිතයි. රූප නිමිත්තෙන් බැහැර වීම උදෙසා මෙම යෝගාවචාරියා ධ්‍යාන සිත ඇති වීමට හේතු වූ කසිණ නිමිත්ත දෙස සිතින් බලාගෙන එය රූපයක් සේ නොසිතා ආකාශය සේ සිතන්නට පිළිබඳව භාවනා කරන්නට පටන් ගනී.
එසේ භාවනා කරන යෝගාවචාරි පුද්ගලයාට තමා පළමුව නිමිත්ත කරගත රූපය එයින් ඉවත්ව යයි. දැන් ඔහුට පෙනෙන්නේ හිස් ආකාශයයි. කසිණය මුල් කොට ඇති වූ ආකාශය නිසා මෙයට ‘කසිණුශ්ඝාටිමාකාසය‘ යැයි කියනු ලැබේ. මෙසේ ආකාශ ආකාශ ලෙස සිහි කරන අතර රූපවචර පඤ්චම ධ්‍යාන සිත තව තවත් දියුණු වී රූපය නැත්තටම නැති තරමට බැහැර කරයි.
රූප නිමිත්ත බැහැර කරන එම පංචම ධ්‍යාන සිත පළමු වන අරූපාවචර සිතයි. ඒ සිතට අරමුණු වන ආකාශය යෝගාවචාරි පුද්ගලයාට දැනෙනවා මිස සත්‍ය වශයෙන් වෙනත් බාහිර අයෙකුට දැන ගත හැකි දෙයක් නොවේ. එය ඔහුගේ සිත තුළ ඇති වෙන්නා වූ ප‍්‍රඥප්තියති. සත්‍ය වශයෙන්ම නැත්තා වූ ඒ ආකාශයට අගක්, මුලක් නොමැත. එහෙයින් එය ‘අනන්තාකාශ’ ලෙස හඳුන්වයි. අනන්තාකාශය අරමුණු කරන ධ්‍යාන සිතට අරූපාවචර කුසල සිතට ආකාසානඤ්චායතන කුසල සිත ලෙස නම් කෙරේ.
මෙසේ පළමු වූ අරූපවචර ධ්‍යානයෙන් ආකාශය සිහි කරන ඔහු එයින් එහාට සියුම්ව ගැඹූරුව වෙනත් අරමුණක සිත පිහිටුවයි. එහි අරමුණ විඤ්ඤාණයයි.ආකාශය අනන්ත ලෙස පෙනෙන්නේ විඤ්ඤාණයටයි. එනම් අනන්තය අහස නොව විඤ්ඤාණයයි. “අනන්තං විඤ්ඤාණං ‘ එසේ සිතන යෝගාවචරයා ආකාශ යන සිතිවිල්ල හැර දමා විඤ්ඤාණය අනන්ත යැයි සිතා විඤ්ඤාණය අරමුණු කොට ගෙන තම සිත වඩන්නට පටන් ගනී.
එසේ විඤ්ඤාණය අරමුණු කොට වඩන සිතඅරූපාවචර විඤ්ඤාණඤ්ඤායතනක භාවනාවයි. අරූපාවචර දෙවෙනි කුසල සිත මෙයයි. මෙම විඤ්ඤාණය අනන්ත ලෙස සිතන යෝගාවචරයා එයට එහා යමක් සිතයි. එම සිතුවිල්ල නම් ‘ නÀථි කිඤ්චි ‘ කිසිවක් නොමැත යන සිතිවිල්ල වේ. මෙය ඉතා සියුම්ව, ගැඹූරුව සිත වැඩු සිත සමාධි ගත කෙරූ යෝගාවචරයෙකුටම හැකි වන්නකි.
විඤ්ඤාණය යනුද ඉතාම සියුම් මාතෘකාවකි. එයට එහා ගිය තත්ත්වයකි. මේ “කිසිවක් නොමැත” යන්න එය සියුම් තරමටම ඔහුගේ ශක්තිය වැඩි වන්නේය. ලෝකයේ පවතින බාධකයන්ට කොටුවීමට එම යෝගාවචරයාගේ සිත පසු නොබාති. ඔහුගේ ගමන ධ්‍යානයන් කරාම දිගින් දිගටම ඇදී යන්නේය. එසේ සිත වර්ධනය විමේ තත්වයකි.
ලෝකයේ උපාදාන වන ආරම්මණයන් ශූන්‍ය ලෙසින් දැකීම . එසේ ලෝකයේ සියල්ල නැති ලෙසින් පෙනෙන්නේ මෙම අරූපාවචර ආකිඤ්චඤ්ඤායතන කුසල සිත නිසයි . “ කිසිවක් නැත” යනු අරමුණක් වන්නේ කෙසේද? යනු ප‍්‍රශ්නයකි. යමක් පළමුව තිබී එය එතැනින් ඉවත් වූ විට එතැන ඉතිරි වන්නේ පළමු පැවැති වස්තුවේ නැතිකමයි. ඒ නැතිකම අභාවයයි. ඒ අභාවය පිළිබඳ අරමුණු කර ගත් යෝගියා භාවනාව වඩයි.
අකිඤ්චඤ්ඤායතන භාවනාව තහවුරු වු පසු එය තව තවත් දීර්ඝ කාලයක් වැඩීමෙන් තෙවසඤ්ඤානාසඤ්ඤායතනකය ලබා ගනී. මෙම සතර වන අරූපී ධ්‍යානය යනු සියුම් කමින් අගතැන් පත් සිතයි. එයට වඩා සියුම් වූ වෙනත් සිතක් නොමැත. සියුම් බව කොතරම්ද යන් ‘සිතක් ඇතුව විසුවාද , සිතින් තොරව විසුවාද ‘ කියා දැන ගැනීමට නොහැකි තරම්ම සියුම්ය. මෙම අරූපාවචර ධ්‍යානවලට ධ්‍යාන යන නාමයට වැඩි සමාපත්ති ලෙසින් හඳුන්වති. එය සමාපත්ති ගත වීමක් බැවිනි. රූපයෙන් තොර භාවනාරම්මණ ඇති හෙයින්ද රූපය කෙරෙහි ඔවුන් කෙරෙහි විරාගය පහළ වී ඇති හෙයින්ද ඔවුන්ට අරූපාවචර යෝගීන් ලෙස හඳුන්වති. පංචාභිඤාදී ශක්තීක් අරූපාවරයන්ට රූපාවචරයන්ට වඩා වැඩිය.
මෙය අරූපාවචර කුසල සිත් පිළිබඳය. අරූපාවචර විපාක සිත්, අරූපාවචර කි‍්‍රයා සිත් යනුවෙන් තව විස්තර කෙරේ. අරූපී ධ්‍යානලාභියා මරණින් මතු ඒ කුසලයේ බලයෙන් ඔහු අරූපී ලෝකයෙහි උපදී. මෙය අරූපාවචර විපාක සිත්ය. එම සිත් සතරකි.
1. ආකාසානඤ්ඤායතන විපාක සිත 2. විඤ්ඤාණඤ්චායතන විපාක සිත 3. ආකිඤ්චඤ්ඤායතන විපාක සිත 4. නේවාසඤ්ඤානාසඤ්ඤා විපාක සිත යනුවෙනි කාම රූප ලෝකවල සත්ත්වයා විඤ්ඤාණය රූපය හා කය සම්බන්ධ පවත්වාගෙන යති. නමුත් අරූපී ලෝකයේ සත්ත්වයා රූපාදි වස්තුන් නොමැතිව විඤ්ඤාණය පමණක් ජීවත් කරයි. එසේත් නොමැති නම් ශරීරයක් නොමැතිව රූපයක් නොමැතිව සිත පමණක් මුල් කොට ගෙන වෙසේ. කාම රූප භව සත්ත්වයන් එම රූපාදී අරමුණු නිසා බොහෝ දුක් විදිති. එහෙත් අරූපීභවලාභියා එයින් ඉදී සිටින්නේය. මෙම විපාකය හරියට නිවනට සමාන හෙවත් ආසන්න සැපතකි. මේ අරූපාවචර විපාක සිතය.
අරූපාවචර කි‍්‍රයා සිත් සතරකි. එහි ද ලබන්නා වූ ආත්මයක් නොමැතිකම නිසා ඔහුගේ එම කි‍්‍රයාව නිශ්ඵල වූ ඵල රහිත වූවකි. එය හුදෙක් කි‍්‍රයාවක්ම පමණකි. මෙය රහතුන්ට නැතිනම් කෙලෙස් තැවූ පුද්ගලයන්ටම අයත් සිත් විශේෂයකි. මෙසේ අරූපාවචර ලෝකය පිළිබඳ කුසල විපාක, කි‍්‍රයා වශයෙන් තෙවැදෑරුම් කොට විස්තර කිරීම තුළින් එහි ලක්‍ෂණයන් කාම භව හා රූප භව සමඟ සසදා අවබෝධ කර ගත හැකිය.
උළුක්කුලමේ සීලරතන හිමි ශී‍්‍ර ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ
උපාධි අපේක්‍ෂක මූලගන්ධකුටි විහාරය වැලිසර - රාගම |