06_ DewaDharma Jathakaya

44 views
Skip to first unread message

Ama Dam Vila

unread,
Aug 15, 2011, 7:32:14 AM8/15/11
to Ama Dam Vila [Group Mail]
Jathaka Strories.png
දේවධර්ම ජාතකය
(ලැජ්ජා බය ඇති දිය රකුසා)

        තිලෝගුරු බුදුරජාණන් වහන්සේ  සැවත දෙව්රම් වෙහෙර වැඩ වසද්දී බොහෝ බඩු භාණ්ඩ ඇති භික්ෂු නමක් නිසා මේ ජාතකය වදාළ සේක.
සැවැත් නුවර එක් මිනිසෙක් බිරිය මළ පසු සසුනෙහි පැවිදි විය. පැවිද්දට පළමුවෙන් ම ගිනිහල් ගෙයක්, ගබඩවෙත් සහිත පන්සලක් තනවා, ගිතෙල් ආදිය පුරවාගෙන ම මහණ විය. එතැන් සිට කොල්ලන්, කෙල්ලන් ගෙන්වා කැමති පරිදි අහර පිසවාගෙන අනුභව කරයි. රැයට දවාලට වෙන වෙන අඳනා සිවුරු පෙරවයි. දිනක් අවාසයෙහි වූ සිවුරු ඇතිරිලි ආදිය බැහැරකොට අව්වේ ලා වේලමින් හිටියේය. එවේලෙහි සේනාසන චාරිකාවේ යෙදුණු පිටිසරබද භික්ෂූන් වහන්සේලා පිරිසක් ඒ බොහෝ වූ බඩු දැක කාගේදැයි විමසූහ. ඒ භික්ෂුනම මාගේ යයි කීයෙන් ”අල්පේච්ඡුතාව ඇති බුදු සසුනෙහි මහණව මෙතරම් පිරිකර කෙසේ දැයි” කියා උන්වහන්සේ බුදුන් සමීපයට කැඳවාගෙන ගොස් ඒ බව සැලකළහ.
භාග්‍යවතුන් වහන්සේ තතුපවත් විමසා භික්ෂුනම “කුමක් නිසා බහුබාණ්ඩික වන්නෙහිද? මා විසින් අල්පේච්ඡතාවයෙහි ගුණ නොඑක් ආකාරයෙන් දේශනා කොට තිබෙනවා නොවේ” දැයි වදාළ සේක. එයින් කිපුණු භික්ෂුනම ”එසේ නම් සිටිය යුත්තේ මෙසේද? කියා සිවුර ගලවා ඉවතලා අඳනය පිටින් භය ලැජ්ජා නැතිව පිරිස මැද සිටියේය. එවිට සර්වඥයන් වහන්සේ “මහණ, ඔබ පෙර දිය රකුසුව උපන් කල්හීත් බිය ලැජ්ජා සොයමින් දොළොස් අවුරුද්දක් විසුයෙහි නොවේද? දැන් මහණව සිටත් මෙසේ පිරිස් මැද භය ලැජ්ජා හැර කුමට සිටිනෙහිදැයි” විචාල සේක.
එවිට ම භික්ෂු නම බිය ලැජ්ජා උපදවා ඉවත දැමූ සිවුර පොරවා ගෙන වැඳ පසෙක හුන්නේය. භික්ෂූන් වහන්සේලාගේ අයැදීමෙන් තථාගතයන් වහන්සේ අතීත කථාව මෙසේ ප‍්‍රකාශ කළ සේක.
බෝසතාණෝ පෙර බරණැස ‘බ‍්‍රහ්මදත්ත’ නම් රජුට දාව ඉපිද ‘මහිංසාස’ නමින් ප‍්‍රසිද්ධ වූහ. දෙවැනි පුත් ‘චන්ද්‍රකුමාර’ නම් විය. ඔවුන් කුඩා කල්හිම මව් බිසොව කළුරිය කළාය. රජ දෙවැනි බිසොවක විවාහ කොට ගත්තේය. ඇයගෙන් උපන් කුමරා ‘සූර්යකුමාර’ නම් විය. දෙවැනි බිසොවගෙන් බෙහෙවින් සතුටට පත් රජ පුත් කුමරු වෙනුවෙන් කැමති වරයෙක් ලබාගන්නැ” යි කීහ. තමන් කැමති විටෙක ලබාගනිමි” යි කියා සිටි බිසොව පුතු නිසි වයසට පැමිණි කල්හි රජුට ”ස්වාමීනි, ඔබ වහන්සේ පුතු උපන් දිනයෙහි දෙන ලද වරය දැන් යදිමි. මගේ පුතුට රාජ්‍ය දුන මැනවැ” යි කීවාය.
         රජ “මාගේ දෙපුතුන් ගිනි කඳන් දේ සිටිද්දී එසේ කළ නොහැකිය” යි ප‍්‍රතික්ෂේප කළේය. නමුත් දේවිය නැවත නැවතත් ඉල්ලා සිටියාය. රාජය්‍යය නොදුනහොත් පුතුන් දෙදෙනාට ඇයගෙන් අනතුරක් වෙතැයි” සිතූ රජ ඔවුන් කැඳවා එපවත් කියා වන වැද තමාගේ මරණයෙන් පසු පැමිණ රාජ්‍යය ලබා ගන්නා ලෙස කියා  හඩා දොවා සිඹ සනසා වනයට පිටත් කොට හැරියේය. පියාණන් වැඳ මාළිගයෙන් බැස යන දෙසොහොයුරන් දුටු සූර්යකුමරා ”මමත් සොහොයුරන් දෙදෙනා සමඟ වනයට යමි” නික්ම ගියේය.
තිදෙනා වනයට යන ගමන් බෝධිසත්වයෝ මගින් ඉවත්ව ගසක්මුල හිඳ “සූර්ය කුමාරය, අර පෙනෙන විලට ගොස් නා වතුර බී නෙළුම් කොළයකින් අපටත් වතුර ගෙනෙන්නැයි” කීය. ඒ විල වෙසමුණි රජුගෙන් දිය රකුසෙකුට ලැබුණකි. දේවධර්මය දන්නා කෙනෙකුන් හැර විලට බසිනා අය කා දැමීමට ඔහුට අවසර ඇත්තේය. විලට නොබසිනා කෙනෙකු කෑමට නොපිළිවණ. සූර්ය කුමාරයා කිසිත් නොදැනම විලට බැස්සේය. එකෙණෙහිම දිය රකුසා කුමාරයන් අල්වා ගෙන “දේවධර්මය දන්නේහිදැයි” ඇසීය. “එසේය. චන්ද්‍ර සූර්ය දෙදෙනා දේවධර්ම නම් වෙයි” ඔහු කීය. ”තෝ දේවධර්මය නො දන්නෙහිය” කී රකුසා කුමාරයන් දිය යට සැඟවීය. සූර්ය කුමරු ප‍්‍රමාද වනු බලා බෝධිසත්වයෝ ඔහු සෙවීමට චන්ද්‍රකුමාරයන් යැවීය. දිය රකුසා ඔහුද අල්වාගෙන “දේවධර්ම දන්නේහිදැයි” ඇසීය. “එසේය. සතර දිශාව දේවධර්ම නම් වන්නේය.” කී කීය. “තෝ ද දේවධර්ම නො දන්නේහිය” කියා චන්ද්‍රකුමරුන් ද දිය යට සැඟවීය.
චන්ද්‍රකුමාරයනුත් පමා වනු දුටු බෝසතාණෝ අනතුරකැයි සිතා දෙසොහොයුරන් සෙවීමට විල ළඟට ගොස්, විලට බට සොහොවුරන්ගේ පියවර විනා ගොඩට ආ පියවර නොදැක පරීක්ෂා කරමින් සිටියහ. රකුසා හිතවත් මිනිසකුගේ වෙසින් පැමිණ විඩාවට පත්ව සිටින හෙයින් විලට බැස නා පැන් බී නෙළුම් අල දලූ කා මල් පැළඳ යන ලෙස බෝසතුන්ට කීය. “මේ දිය රකුසා විය හැකිය, නිසැකයෙන් මාගේ සොහොයුරන් අල්වාගන්නට ඇතැයි” සිතූ බෝධිසත්වයෝ “තෝ මාගේ සොහොයුරන් අල්ලා ගත්තෙහිදැයි” යි ඇසූහ. “ඔව් අල්වාගතිමි. දේවධර්මය නොදන්නා මේ විලට බසිනා  ඕනෑම කෙනෙකු කා දැමීමට මට අවසර ඇතැයි” දිය රකුසා කීය.
“තොපට දේවධර්මයෙන් වැඩක් ඇද්දැයි” බෝසතාණන් ඇසූ විට “එසේය” යයි රකුසා කීය. ”එසේ නම් දේවධර්මය දනිමි. තට කියා දෙමි. එහෙත් අපිරිසිදු නිසා මදක් මැලි වෙමි” යි කීයෙන් නෑමට, බීමට, සැරසීමට සලස්වා අසුනක හිඳුවා දේවධර්මය කියා දෙන ලෙස බෝසතුන්ගෙන් ඉල්ලා සිටියේය. එසේ නම් හොඳින් අසාගනුව” යි බෝධිසත්වයෝ ”ලොව පව්කම් සහ නොකළ යුතු ලෝ සිරිත් බිය ලැජ්ජාවෙන් නොකොට පින් දහම්වල ඇලී සත්පුරුෂ ගුණයෙන් යුතුව යමෙක් වාසය කරයි නම් ඔවුන්ගේ පැවැත්ම මෙලොව දේවධර්මය නම් වන්නේය” යයි වදාළහ.
පැහැදීමට පත් දිය රකුසා ”ඔබට එක් සහෝදරයෙක් දෙමි. කවුරුන් අවශ්‍ය දැයි” ඇසීය. “බාලයා ගෙන එව”යි කීහ. එවිට දිය රකුසා “ඔබ දේවධර්මය දන්නවා මිස නොපිළිපදින්නෙකැයි” කීය. මක්නිසාදැයි ඇසූ විට “වැඩිමලා හැර බාලයා ගෙන ඒමට කීයෙන් වැඩිමහල්ලන් පිදීම නම් ‘ජෙට්ඨාපචායනය’ නොකරන නිසා” යයි කීය. “රාක්ෂය, මම දේවධර්මය දනිමි. පිළිපදින්නෙක්  ද වෙමි. අප වනගත වූයේ මේ සහෝදරයා නිසාය. ඔහු වනයෙහිදී යකෙකුට ගොදුරු වී යයි කීමෙන් ඇතිවන නින්දාවට බියෙන් මෙසේ කළෙමි” යි බෝසතාණෝ වදාළහ. රාක්ෂසයා සාධුකාර දී දෙසොහොයුරන් ම ගෙනවුත් දුන්නේය.
බෝධිසත්වයෝ ඔහුට ධර්මය දේශනා කරමින් “පෙර කල අකුසලයෙන් අනුන්ගේ ශරීරවල ලේ මස් කන රාක්ෂසව උපන්නෙහිය. මෙතැන් සිට අකුසල් නොකොට කුසල් කරව” යි වදාළහ. ඉක්බිති ඔහුගේ රැුකවරණයෙන් එහිම සිට පියරජුගේ අභාවයෙන් බරණැසට පැමිණ රාජ්‍යය ලබා ගත්හ. චන්ද්‍ර කුමාරයාට යුවරජ තනතුරු ද, සූර්ය කුමාරයාට සෙන්පති පදවිය ද, රාක්ෂසයාට දේවාලයක් තනවා නිරන්තර පළමුකොට සියලූ පුදපූජා පවත්වන ලෙස විධිවිධාන සලස්වා දැහැමින් රජකොට කර්මානුරූපව මිය පරලොව ගියහ. ධර්ම දේශනාවසානයෙහි බහුබාණ්ඩිකතෙර සෝවාන් විය.
එසමයෙහි දිය රකුසා මෙකල බහු බාණ්ඩික භික්ෂු නමය. සූර්ය කුමාරයා දැන් අනඳ තෙරණුවෝය. චන්ද්‍ර කුමාරයා සැරියුත් තෙරණුවෝය. මහිංසාස නම් ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ම යයි වදාළ සේක. 

තෙරුවන් සරණයි !

--
අමා දොර විවර විය 
නැණ ගුණැති දනන් හට 
යොමා දෙසවන් මනා 
සැදැහැ සිත් පුබුදුවා 
අසත්වා! අසත්වා! 
ඒ අමත දුන්දුභී......

GoogleGroup : www.groups.google.com/group/AmaDamVilaYBS 

Jathaka Strories.png
06_ DewaDharma Jathakaya.pdf
Reply all
Reply to author
Forward
0 new messages