තණ්ඩුල නාලි ජාතකය
(අනුවණ තක්සේරු කරු)
සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ සැවත දෙව්රම්හි දී ලාළුදායි තෙරුන් නිසා මේ ජාතකට වදාළ සේක. ඒ මෙසේයි: එක් කලෙක දබ්බමල්ලපුත‍්‍ර තෙරුන් වහන්සේ භික්ෂූන්ට සලාක බත් නියම කරති. සලාක බෙදන විට සමහර දිනක ලාළුදායි තෙරුන්ට හොඳ බතක් ලැබෙයි. සමහරදාක නිසරු බතක් ලැබෙයි. නපුරු බතක් ලැබුණ දිනවල ලාළුදායි තෙර ”සලාක බෙදිය හැක්කේ දබ්බමල්ලපුත‍්‍රට පමණ ද? අපට බැරිදැ” යි එතැන කලබල කරයි. එවිට සලාක බෙදීම උන්වහන්සේට ම පැවරිණ. එතැන් පටන් සලාක බෙදන නමුත් හොඳ නොහොඳ බවත්, ඒවා ලැබුණේ අසවල් අසවල් කොටසේ අයට ය කියවත් නොදනී. සලාක දී නැවැත් වූ තැන ද නොදනී. බිම හෝ බිත්තියෙහි ඉරක් ඇඳ ඒ සලකුණෙන් ම දැන ගනී. දෙවන දින සලාක බෙදන විට භික්ෂූන් අඩු වැඩි බවක් නොසලකා රේඛා සලකුණ අනුව ම බෙදයි. භික්ෂූන් වහන්සේලා අතර ”ලාළුදායි ස්ථවිරයිනි, ඔබ වහන්සේ සලාක බෙදීමෙන් භික්ෂූන් වහන්සේලා මහත් සේ ලාභයෙන් පිරිහෙතී” කියා එහි මහත් වාද විවාද ඇති විය.
සලාක බෙදන තැන කෝලාහල අසා සර්වඥයන් වහන්සේ අනඳ තෙරුන්ගෙන් විමසා ”ආනන්ද, ලාළුදායි භික්ෂුනම අඥානකම නිසා පෙරත් අනුන්ට අලාභ හානි කළේය” යි වදාරා අනඳ තෙරුන්ගේ් ආරාධනයෙන් ඒ පුවත මෙසේ පැහැදිලි කළ සේක.
පෙර කසීරට බරණැස බඹදත් රජු සමයෙහි මහබෝසතාණෝ රජුගේ තක්සේරුකාර තනතුරු ලබා වස්තු තක්සේරු කොට සුදුසු අගය නියම කරන්නාහ. අගය කරුවා භාණ්ඩ හිමියන්ට භාණ්ඩ අනුව මිල ගෙවන්නාහ. ලෝභී රජ ”මෙසේ තක්සේරු කළහොත් මාගේ භාණ්ඩාගාරය වහා නිමවන්නේ” යයි සිතා ලෝභී නුවණ නැති ගැමියකු එම තනතුරයට පත් කළේය. ඔහු වස්තු අගය කිරීමේදී අගය අඩුකොට තමන් කැමති පරිදි කරයි. දිනක් අස් වෙළෙන්ඳෙක් අසුන් පන්සියයක් විකිණීම පිණිස එරටට ආයේය. ඒ අසා රජ තෙම තක්සේරුකරු කැඳවා ”අසුන් අගය කරන ලෙස” කිය. ඔහු ‘සියලූ අසුන් එකම හාල් නැළියක් වටිනා බව’ කීය. රජ හාල් නැළියක් දෙවා අසුන් අස්හලට යැවීය.
අස් වෙළෙන්ඳා පළමු තක්සේරු කරු වෙත ගොස් එපවත් කියා ”කුමක් කළ යුතු දැයි” විමසීය. එසේ නම් ඔහුට අල්ලසක් දී ”අපි ඔබ නිසා හාල් නැළියක වටිනාකම දැනගනු කැමැත්තෙමු. රජු ඉදිරියේදී එය ප‍්‍රකාශ කළ හැකි දැයි විමසවු. එකඟ වුවහොත් රජු සමීපයට යන්න. මමත් එමි” යි බෝසතාණෝ කීහ. වෙළෙන්ඳා තක්සේරුකරු එකඟ කරවා ගෙන රජු වෙත ගියේය. බෝසතාණෝ ද සෙසු ඇමතියෝ ද එතැනට පැමිණියහ.
එවේලෙහි අස් වෙළෙන්ඳා රජ්ජුරුවන් වැඳ ”ස්වාමීනී, අසුන් පන්සීයක් එක් සාල් නැළියක් වටිනා බව දැන් දනිමි. එම සාල් නැළිය කොපමණ වටිනේදැයි තක්සේරු කරුගෙන් විචාළ මැනවැ” යි අයැදීය. රජ එසේ විමසීය. ඒ මෝඩ මිනිසා ”ස්වාමීනි, අන්තඃපුරය සහිත බරණැස් රාජ්‍ය තරම් අගනේය” යි කීය. ඒ අසා රැස් වූ පිරිස සිනාසී අත්පුඩි ගසා ”අපි පොළව හා රාජ්‍යය අමිල අනර්ඝ යයි අසා ඇත්තෙමු. මොහු එක සාල් නැළීයක් අගනේ යයි කියයි. ඔබ වහන්සේගේ තක්සේරු කරුගේ හපන්කම කෙතරම් ද? ඔහු කොහේ සිටියෙක් දැයි” ඇසූහ. රජ ලැජ්ජාවට පත්ව පදවිය නැවත බෝසතුන්ටම දී ඒ මිනිසා නෙරපා දැමීය. බෝසතාණෝ දැහැමින් කල් යවා මිය පරලොව ගියහ.
එකල ඒ අඥාන පුරුෂයා මෙකල ලාළුදායි ස්ථවිරයන්ය. නැණවත් තක්සේරුභාර පුද්ගලයා නම් මෙකල ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ම යයි වදාළ සේක.
තෙරුවන් සරණයි!