අප දන්නා කාලයේ සිට වෙන කවරදාටත් වඩා ධර්මය ගැන කතාබස් කිරීමේ උනන්දුවක් වර්තමානයේ පවතින බව පැහැදිලිව පෙනෙන කරුණකි. එය යහපත් නිමිත්තක් ලෙස සැළකිය හැකියි.
එහෙත් තමා විසින් සොයමින් සිටින, කතාබස් කරමින් සිටින ඒ ධර්මය කුමක්දැ’යි තමාටවත් නිරවුල් ලෙස තෝරා බේරා ගැනීමේ හැකියාවක් බොහෝ දෙනෙකු තුළ තිබේද යනු සැක සහිතයි. එයට හේතුව සද්ධර්මයේ නාමයෙන් විවිධ මතිමතාන්තර, වාද විවාද වලින් සංකීර්ණ වූ පරිසරයක් තිබීමයි.
සමහරුන් ධර්මය හැටියට පවසන්නේ පුදුමාකාර දේවල්ය. කා-බී, හැඳ-පැළඳ ජීවත් වීම උදෙසාම පමණක් ධර්මය කතා කළ යුතු බව කියයි. මෙලොව හා පරලොව දෙක්හිම සුරක්ෂිත භාවය පිණිස මේ ජීවිතය තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමේ වටිනාකමක් ඔවුහු නොදකිති. එය මහත් අවාසනාවකි. එබඳු පිරිස ගෙන් ධර්මය ඇසීම තුළ ධර්මයෙන් ඵල නෙළාගත නොහැකිය. එබඳු ධර්මයක් අසා අන්ධබාල පෘථග්ජන භාවයෙන් නම් මේ ජීවිතය කිසිදිනක නිදහස් කරගත නොහැකිය. එහෙත් නිතිපතා ධර්මයේ ගුණ පාළියෙන් කියන ඔබ එහි තේරුම් ඉගෙන ගෙන තිබේද?
බුදුරජාණන්වහන්සේ වදාළ ශී‍්‍ර සද්ධර්මය (ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ), මේ ජීවිතය තුළදීම දැකිය හැකි නම් (සන්දිට්ඨික), සෑම කාලයකම අවබෝධ කළ හැකි නම් (අකාලික), ඇවිත් අවබෝධ කරන්න යයි හඬ ගා පෙන්වා දිය හැකි නම් (ඒහි පස්සික), තමා තුළින්ම දැක්ක යුතු නම් ( ඕපනයික), බුද්ධිමත් මනුෂ්‍යාට ප්රත්යක්ෂ කර ගත හැකි නම් (පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි), නොපෙනෙන ලෝකයක, නොපෙනෙන අනාගතයකට ධර්මාවබෝධය කල් දැමීමේ සමහරුන්ගේ තීරණයන්හි ඇති භයානකකම සිතින් සිතාගත නොහැකි තරම් මෝහ මුලිකය.
ධර්මය වනාහී මේ ජීවිතයේදී අවබෝධ කළ නොහැකි දෙයක් නම් බුදුවරුන්ගේ පහළවීමෙන්, සද්ධර්මය දේශනා කිරීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? යම් හෙයකින් මේ ජීවිතයේදී ධර්මය අවබෝධ නොකළ හැකි නම් කිසිදාක රහතන් වහන්සේලා, මාර්ගඵල ලාභීන් පහළ විය නොහැකිය. එහෙත් ඓතිහාසිකව කෝටිවාරයකටත් වඩා ඔප්පු වී තිබෙන සත්‍යය එය නොවේ. මේ ජීවිතයේදීම අරහත්වය සාක්ෂාත් කළ උතුමෝ අපමණවත් සිටියහ. මාර්ගඵල ලාභීහු අපමණවත් සිටියහ. දැනුදු මේ සද්ධර්ම මාර්ගයේ අල්ප මාත්‍ර අඩුපාඩුවක් නැත. ඒ ගැන කිසිසේත් සැක උපදවා ගත යුතු නැත. මේ සද්ධර්මය ඉරහඳටත් වඩා ප්රභාස්වරයත ජීවමානය ඔව්! ජීවමානය!
ඉතින් මේ ජීවමාන ශී‍්‍ර සද්ධර්මය බුදුරජාණන් වහන්සේ විසින් වදාළ විධි නොපිරිහෙළා අනුගමනය කරත් නම්, අදද ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කළ හැකිය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමෙන් ජීවිතය අවබෝධ කිරීම නම් වූ එහි ඵල නෙළා ගත හැකි බව ඒකාන්ත සත්‍යයෙකි.
සැදැහැති ශ්රාවකයින් ඊනියා ධර්ම විවරණ වලින් අහේතුක පසු බෑමක් ඇති කර නොගත යුතුය. සැක නොකළ යුතුය. ගිහි ජීවිතයේදී මාර්ගඵල ලැබිය හැකිද යනු සමහරුන් අසන බොළඳ ප්රශ්නයකි. ගිහි ජීවිතයේ මාර්ගඵල නොලැබිය හැකි නම්, කිසිදාක නොලැබිය හැකිය. එහෙත් ගිහි ජීවිතය තුළ ආර්ය මාර්ගය පුරුදු පුහුණු කොට එහි ඵල නෙළා ගත් අපමණ ගිහි පිරිස් වූහ. පැවිද්දන් ගැන කවර කථාද?
මාර්ගය යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සතර සතිපට්ඨානය ඔස්සේ ඒ මාර්ගය අනුගමනය කළ යුතුයි. ඵලය යනු ඒ මාර්ගය අනුගමනය කිරීම තුළින් තමා තුළ ඇති වන ජීවිතාවබෝධය නිසා සංයෝජන ධර්මයන් ප්‍රහීන වීමයි. එය තනිකරම අවබෝධයක් තුලින් ඇති විය යුතු දෙයකි. ‘මට අසවල් මාර්ගය - ඵලය පහළ වේවා!’ ”මට අසවල් ඤාණ පහළ වේවා’යි අධිෂ්ඨාන කරමින් මායාකාරී සිතේ මායාවන්ට හසු වීම මුළාවේම කොටසක් මිස වෙන දෙයක් නොවේ. සමහරුන් පෙන්වා දෙන පිළිවෙලට එසේ අධිෂ්ඨාන බලයෙන් මගඵල ලැබිය හැකි නම් බුදුන් වදාළ ධර්මයක් කුමකටද?
මහත් කැපවීමකින් සකස් කරණ ලද ”ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ!” නම් වූ මේ ”මහා සතිපට්ඨාන සූත්‍ර විවරණය එක් වරක් පමණක් කියවා පසෙක තබන්න එපා! හස්තසාර වස්තුවක් පරිද්දෙන් ඔබ ළඟම තබා ගෙන යළි යළිත් කියවන්න. යළි යළිත් තේරුම් ගන්න. යළි යළිත් පුරුදු පුහුණු කරන්න.
එවිට දුර්ලභව ලද මේ මිනිස් ජීවිතය ඒකාන්තයෙන්ම සතර අපායෙන් නිදහස් වීම පිණිසත්, සංසාර දුකින් එතෙර වීම පිණිසත් අතිශයින්ම ආශ්චර්යවත් වූ මේ ශ්‍රී සද්ධර්මය ඒකාන්තයෙන්ම උපකාරී වනු නියතය.
මේ ග්රන්ථ රත්නය සකස් කිරීමේ දී මහත් ශ්‍රද්ධාවෙන් යුතුව මට උපකාරී වූ සැමට මේ බුදු සසුනේදීම ධර්මාවබෝධය වේවා!
මේ අමූල්‍ය ග්‍රන්ථරත්නය පිළිබඳ අපගේ අදහස අප කළ්‍යාණමිත්‍ර දයාවංශ ජයකොඩි මහතා වෙත යොමු කළ සැණින්ම මෙය සැදැහැවත් ඔබ අතට පත් කිරීමට එතුමා බලවත් කැමැත්තෙන් ඉදිරිපත් විය. එතුමා ඇතුළු එම පවුලේ සැමටත්, දයාවංශ ජයකොඩි සහ සමාගමේ කාර්ය මණ්ඩලයටත් ජීවිතාවබෝධය පිණිස මේ පින හේතු වේවා!
සියලූ බුද්ධිමත් මනුෂ්‍යයින් හට තම චින්තනය තමාගේම ජීවිතාවබෝධය පිණිස යොමු කරගැනීමේ හැකියාව ඇතිවේවා!
- කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
--
අමා දොර විවර විය
නැණ ගුණැති දනන් හට
යොමා දෙසවන් මනා
සැදැහැ සිත් පුබුදුවා
අසත්වා! අසත්වා!
ඒ අමත දුන්දුභී......
GoogleGroup : www.groups.google.com/group/AmaDamVilaYBS