සදහම් සයුරෙන් දිය දෝතක් - 2
සැබෑ ව්‍යසනය හඳුනාගනිමු...
ව්‍යසනය කියන වචනය අප නිරන්තරයෙන්ම අහන්න ලැබෙන එකක්. විවිධාකාරයෙන් සිදුවන හානිවීම් ගැන අප නිතර කතා කරනවා. බොහෝ දෙනා මේ ව්‍යසනයන් හේතුවෙන් හඬා වැළපෙනවා. එහෙත් සැබෑ ව්‍යසන මොනවාද කියා ඔබ දන්නවාද?
අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ව්‍යසන පහක් ගැන පෙන්වා දී තියෙනවා. ඉන් පළමුවැන්න තමයි ඤාති ව්‍යසනය. එයින් අදහස් කරන්නේ තමන්ගේ දෙමාපියන්, දූ දරුවන් ආදී ඤාතීන්ගෙන් වෙන්වන්නට සිදුවීමයි. තමන්ට බොහෝ සේ හිතවත් ඤාතීන් තමන් සමඟ සිටීම සැපයක් කරුණක්. ඔවුන් අපෙන් වෙන්වීම තමයි ඤාති ව්‍යසනය කියන්නේ.
දෙවෙනි ව්‍යසනය තමයි භෝග ව්‍යසනය. ඒ කියන්නේ ධන ධාන්‍ය, මිල මුදල්, කෙත් වතු, ඉඩ කඩම්, දැසි දස්සන් ආදී භෝග සම්පත් වලින් පිරිහීම. මෙබඳු ආකාරයේ භෝග සම්පත් වලින් පිරිහීමේදී හඬා වැළපෙන අය නිරන්තරයෙන්ම අපට දකින්නට ලැබෙනවා. ඇතැම් විට තමන්ගේ ජීවිතය පවා නැති කරගන්නා අවස්ථා අපට අසන්නටත්, දකින්නටත් ලැබෙනවා. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ දෙවෙනි ව්‍යසනය තමයි භෝග ව්‍යසනය.
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තුන් වෙනි ව්‍යසනය විදිහට පෙන්වා වදාළේ රෝග ව්‍යසනයයි. විවිධාකාර රෝගාබාධයන්ට ගොදුරු වීම හේතුවන් බොහෝ දෙනා කායිකව මෙන්ම මානසිකවත් පිරිහෙනවා. තමතමන්ගේ රැුකිරක්ෂා කටයුතු, වෙළහෙළදාම්, අධ්‍යාපන කටයුතු වගේම එදිනෙදා කටයුතුත් නිසියාකාරව කරගන්නට බැරිව යනවා. මේ ආකාරයට රෝග පීඩාවන්ට මුහුණ දෙන්නට සිදුවීම නිසා ඇතිවන හානිවීම් රෝග ව්‍යසනය ලෙස හඳුන්වනවා. ඤාති ව්‍යසනය, භෝග ව්‍යසනය, රෝග ව්‍යසනය කියන මේ ව්‍යසන තුනම ලෞකික ජීවිතය හා සම්බන්ධයි. එහෙත් මීළඟට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන ව්‍යසන ආධ්‍යාත්මික ජීවිතය හා සම්බන්ධ ඒවායි.
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන හතර වෙනි ව්‍යසනය තමයි සීල ව්‍යසනය. තමන් යම් සීලයකින් පිරිහී දුස්සීල බවට පත්වන්නට වෙනවාද, අන්න එය සීල ව්‍යසනයයි. කලකදී ශික්ෂා පද ආරක්ෂා කරන්නට උත්සාහ ගත්තත්, එය දිගින් දිගටම පවත්වාගන්නට නොහැකිව යළිත් පරණ පුරුදු දුස්සීල ජීවිතයට පත් වෙන අය අපට මේ සමාජයේ වුණත් දැකගන්නට පුළුවන්. ඒ වගේම කෙනෙක් සිල් පද ආරක්ෂා කරන්නේ නැතුව දිගටම වාසය කරනවා නම් අන්න එයත් අයිති වන්නේ සීල ව්‍යසනයටයි.
බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන පස්වෙනි ව්‍යසනය නම් දිට්ඨි ව්‍යසනයයි. විවිධාකාර මිත්‍යා දෘෂ්ටිවල බොහෝ දෙනා පැටලී යනවා. ඒ තුළින් සිදුවන්නේ තමන්ට සම්මා දිට්ඨියට පැමිණීමට ඇති අවස්ථාව මගහැරී යාමයි. එයත් කෙනෙකුගේ ජීවිතයට සිදුවන ව්‍යසනයක් ලෙසයි බුදුරජාණන් වහන්සේ වදාළේ.
මේ ව්‍යසන පිළිබඳව තවදුරටත් බුදුරජාණන් වහන්සේ මේ විදිහට පෙන්වා දෙනවා. ඒ තමයි ඤාති ව්‍යසනය හේතුවෙන් හෝ භෝග ව්‍යසනය හේතුවෙන් හෝ රෝග ව්‍යසනය හේතුවෙන් හෝ කෙනෙක් මරණින් මත්තේ සතර අපායේ නොයන බව. ඇත්තෙන්ම ඒවා අදාළ මේ ජීවිතයට පමණයි. එහෙත් යමෙක් සීල ව්‍යසනය හේතුවෙන් හෝ දිට්ඨි ව්‍යසනය හේතුවෙන් හෝ මරණින් මතු සතර අපායේ උපදිනවා. ඒවා කෙළින්ම පරලොව උපතටත් සම්බන්ධයි.
ඒ අනුව අපට පේනවා කෙනෙකුගේ ජීවිතයට සිදුවන සැබෑම හානිය සීලයෙන් හෝ දෘෂ්ටියෙන් හෝ පිරිහීමයි. ඒ හේතුවෙන් මෙලොවදී වගේම පරලොවදීත් දුක් විපාක විඳින්නට හේතු වෙනවා. ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සැබෑ ව්‍යසනයන් හඳුනාගෙන ඒවායින් අත්මිදෙන්නට වෙර දරමු.
නමෝ බුද්ධාය!
--
අමා දොර විවර විය
නැණ ගුණැති දනන් හට
යොමා දෙසවන් මනා
සැදැහැ සිත් පුබුදුවා
අසත්වා! අසත්වා!
ඒ අමත දුන්දුභී......
GoogleGroup : www.groups.google.com/group/AmaDamVilaYBS